Home Blog Page 3

ශ්‍රී ලාංකික ප්‍රථම ICCROM සම්මානලාභී, ආචාර්ය ගාමිණී විජේසුරිය පිළිබඳ කෙටි සටහනක්

උරුම ස්ථාන හුදෙකලාව ලෙස හෝ කෞතුක භාණ්ඩ ලෙස ආරක්‍ෂා කළ නොහැකිය. එමෙන්ම උරුම ස්ථාන ස්වභාවික හා මිනිස් ක්‍රියාකාරකම් විසින් ගෙනෙන ව්‍යසනයන්ගෙන් හුදෙකලාව ආරක්‍ෂා කළ නොහැකිය. උරුම ස්ථාන ආරක්‍ෂා කිරීමේ දී ඒ අවට සිදුවන ඉඩම් පරිහරණ සැලසුම් නොසලකා හළ නොහැකිය. තවද උරුමය, සිදුවෙමින් පවතින සංවර්ධන ක්‍රියාකාරකම්වලින් වෙන්ව සමාජ වෙනස්කම්වලින් හුදෙකලාව හෝ  ප්‍රජාවන්ගේ උත්සුකයන්ගෙන් පරිබාහිරව සැලකිය නොහැකිය. (ආචාර්ය ගාමිණී විජේසුරිය, සංස්කෘතික උරුමයන් සංරක්‍ෂණය හා කළමනාකරණය නව ප්‍රවණතා, 2021:7)

ආචාර්ය ගාමිණී විජේසුරිය
ආචාර්ය ගාමිණී විජේසුරිය

ආචාර්ය ගාමිණී විජේසුරිය

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පිහිටි ඇස්සැද්දුම ග්‍රාමයේ උපන් විජේසූරිය නාගොල්ලාගොඩ මහා විද්‍යාලයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විද්‍යාවේදී සහ විද්‍යාපති උපාධිය ලබා වරලත් වාස්තුවිද්‍යාඥ ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත. පසුව එක්සත් රාජධානියේ යොක් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව/ උරුම කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ද, ඇමරිකා එක්සත් ජනපදයේ කානගී-මෙලන් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය/සංරක්‍ෂණය පිළිබඳව තවත් ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගන්නා අතර නෙදර්ලන්තයේ  සුප්‍රසිද්ධ ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාණ ශ්‍රී ලංකාවේ භාවනාරාම පිළිබඳව පර්යේෂණ නිබන්ඳනයක් ඉදිරිපත් කරමින්, ආචාර්ය උපාධිය හිමි කර ගන්නා ලදි.

මුල් වෘතිය දායකත්වය

කෙටි කලක් නාගරික සංවර්ධන අධිකාරියේ සේවය කළ ආචාර්ය ගාමිණී විජේසුරිය, 1980 දශකයේ දී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේ දී ව්‍යාපෘති කළමණාකරුවකු ලෙස වෘත්තීය ජීවිතයට පිවිසි විජේසුරිය, 1983 දී එනම් අවුරුදු 29 දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇතුළත්ව නියෝජ්‍ය කොමසාරිස්වරයකු (වාස්තුවිද්‍යා) හා අධ්‍යක්‍ෂ (වාස්තුවිද්‍යා සංරක්‍ෂණ) ලෙස වසර දහඅටක් පමණ සේවය කටයුතු කරයි. එම සේවා කාලය තුළ  රටපුරා ඇති ඓතිහාසික ගොඩනැගිලි, පුරාවිද්‍යා ස්ථාන,  නාගරික මධ්‍යස්ථාන සහ ලෝක උරුම ස්ථාන හයක් සංරක්‍ෂණය සහ කළමනාකරණය කිරීම සඳහා විශේෂ මැදිහත්වීමක් සිදු කර ඇත. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව පිහිටුවීමට අනුපමේය දායකත්වයක් දැක් වූ ඔහු එහි ආරම්භක ලේකම්වරයා ද වේ. එසේම ගාලු උරුම පදනම පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ද විජේසුරියන්මය.

ICOMOS SRI LANKA ආරම්භක සාමාජිකයෙකු

ඔහු ICOMOS SRI LANKA හි ආරම්භක සාමාජිකයෙකු වන අතර, 2001 වසරේ සිට නවසීලන්ත සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් එහි ප්‍රධාන ප්‍රාදේශී විද්‍යාඥයකු ලෙස සංරක්‍ෂණ කළමනාකරණ කණ්ඩායම්වලට විද්‍යාත්මක උපදෙස් ලබා දී ඇත. 2004 වසරේදී ලොව පුරා උරුම සංරක්‍ෂණය සඳහා වූ සංස්කෘතික වස්තූන් සංරක්‍ෂණය සහ අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර ආයතනයයේ (ICCROM)පළමු ආසියානු කාර්ය මණ්ඩල සාමාජික බවට පත්විය. ඒ අනුව 2004 සිට 2017 දක්වා (ICCROM) හි ව්‍යාපෘති කළමණාකරුවකු ලෙසත්, ලෝක උරුම ක්‍රියාකාරකම් පිළිබඳව සම්බන්ධීකාරකවරයකු ලෙසත් කටයුතු කරමින් ලෝක උරුමයන් සංරක්‍ෂණය, කළමනාකරණය සම්බන්ද න්‍යායන් ගොඩනැගීමේ ක්‍රියාකාරකම් වර්ධනය කළේය. උක්ත ආයතනයෙහි කමිටු සැසිවල නිල නියෝජිතයෙකු ලෙස සහභාගී වෙමින්, ලෝක උරුම ස්ථාන සංරක්‍ෂණය කිරීමේ හා තත්ත්ව වාර්තා (SOC) අධීක්‍ෂණය සදහා ද දායතත්වය ලබා දී ඇත.

ලෝක උරුම හා උරුම ස්ථාන සම්බන්ධයෙන් සංවර්ධන කාර්යයන් සිදු කිරීමේ දී ක්‍රියාකළ යුතු ආකාරයන් හා කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව ICCROM ආයතනය තුළ විදේශීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට දායකත්වය ලබා දෙමින් එහි සම්පත්දායකයකු ලෙස ද කටයුතු කරයි.

ව්‍යාපෘති කළමණාකරු වශයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විවිධ විදේශීය ආයතනයන් හා සම්බන්ධ වෙමින්, අප රටෙහි වෘත්තිකයන් හා විද්‍යාර්ථීන් වෙත විදේශීය පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කරන ලදි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාක්ෂේත්‍රයේ විදේශීය පුහණු ලබා ගැනීමේ දී සිදුවන අසීරුතාවයන් මඟහරවාගෙන එම අවස්ථාවන් ලබා එහි වරප්‍රසාදයන් බුක්ති විදීමට, එතුමන්ට පිං සිදුවන්නට ශ්‍රී ලාංකික අප වාසනාවන්ත  වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් නොව එම ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන වන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික ලේඛණාරක්ෂක  දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනයන් සියල්ල නියෝජනය වන පරිදි සැමට සම අවස්ථාවන් ලබා දෙමින් පුරාවිද්‍යා විෂයෙහි ගුණාත්මක බව වැඩි කරනුවස් පුහුණු අවස්ථාවන් ලබා දී ඇත.

ආචාර්ය ගාමිණී විජේසුරියගේ පුහුණු වැඩසටහන්

මෙසේ ලබා දුන් පුහුණු අවස්ථා ලෙස,

ඉතාලියේ ICCROM (International Center for the Study of the Preservation and Restoration of Cultural Property ) ආයතනය මගින් පවත්වනු ලබන

  • Conservation of Built Heritage
  • Timber Conservation (නෝර්වේ රාජ්‍යයයේ)
  • Stone Conservation (වෙනිස් නගරයේ හා පින්ලන්තයේ)
  • Risk Management
  • Paper Conservation
  • Object Conservation
  • ICOMS  (International  Council on Monuments and Sites ) හා IUCN (International Union for Conservation of Nature)  ආයතන දෙක මගින් පවත්වනු ලබන People Nature and Culture Partnership  පාඨමාලාව

මෙම ආයතන දෙක පළමුවරට එකට එකතු කොට සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම ද අචාර්ය ගාමිණී විජේසූරිය මහතාගේ අදහසක් වන්නේය.

ජපානයේ ACCU Nara  ( Asia – Pacific Cultural Center for UNESCO )  ආයතනය මගින් පවත්වනු ලබන

  • Architectural Conservation
  • Archaeological Site Management
  • Museums Design
  • WHITRAP (World Heritage Institute of Training and Research for the Asia and Pacific Region under the auspices of UNESCO) ආයතනය මගින් පවත්වනු ලබන
  • World Heritage Management   යන පාඨමාලාව හැදින්විය හැකි ය.

මෙවැනි පුහුණු පාඨමාලා රැසක් හැදෑරීම සදහා ශ්‍රී ලාංකික වෘතිකයන්ට ඉඩ හසර ලබා දෙමින් ඔවුන්ගේ දැනුම හා හැකියාවන් යාවත්කාලීන කර ගැනීමෙහිලා  එතුමන් ලබා දෙන්නා වූ සහයෝගය අතිමහත්ය. එසේම විදෙස් රටක සංචාරය කිරීමෙන් ලබන්නා වූ අත්දැකීම් සම්භාරය ද පුහුණුවට සහභාගීවන වෘත්තිකයන්ට ඉතා විශේෂ අවස්ථාවක් වන්නේය.

2013 වසරේ සිට ස්වාභාවික, සංස්කෘතික උරුමය සංරක්‍ෂණය සඳහා ප්‍රජා කේන්ද්‍රීය ප්‍රවේශයන් පිළිබඳ අදහස් ඉදිරිපත් කරමින්, පුහුණු පාඨමාලාවන් පවත්වාගෙන යමින් ස්වාභාවික, සංස්කෘතිය හා මිනිසුන් සම්බන්ධ කිරීමේ වැඩසටහන් සංවර්ධනය කිරීමට ඔහු නායකත්වය ලබා දී ඇත. ජීවමාන සංස්කෘතික උරුමයන් පිළිබඳව ඔහුගේ සැලකිල්ල වඩා වැදගත් වූ යොමුවක් වූ අතර, ඉන් ස්වාභාවික සහ සංස්කෘතිය යන දෙ අංශයම සංරක්‍ෂණය සඳහා ප්‍රජා කේන්ද්‍රීය ප්‍රවේශයක් කෙරෙහි ඔහුගේ නවෝත්පාදන යොමුව ලොවපුරා පිළිගැනීමට ලක් විය. ඒ අනුව සංරක්‍ෂය සඳහා වූ සාම්ප්‍රදායික ප්‍රවේශයන් බොහෝමයකට අභියෝග කරමින් ජීවමාන උරුමය පිළිබඳව නව මතවාදයක් ඇති කිරීමට සමත්ව ඇත.

ශාස්ත්‍රීය කෘති, සඟරා හා පර්යේෂණ පත්‍රිකා

ඒ අනුව ලෝක පුරාවිද්‍යාවට, උරුම සංරක්‍ෂණය සහ කළමනාකරණය, සාම්ප්‍රදායික දැනුම් පද්ධති, ආගමික උරුමයන් සංරක්‍ෂණය සහ කළමනාකරණය, ස්වාභාවික හා සංස්කෘතික උරුම සංරක්‍ෂණය, උරුම  කළමනාකරණය සඳහා ප්‍රජා කේන්ද්‍රිය ප්‍රවේශය, උරුමය ලෞකිකකරණය හා ලෞකිකහරණය ආදී නව මානයන් ආචාර්ය ගාමිණි විජේසූරිය විසින් දායාද කරමින් ලොව පුරා ඒ පිළිබඳව වෘත්තිකයින් දහස්ගණනක් බිහිකරයි. ඔහු විසින් පර්යේෂණ අන්තර්ජාතිකව පිළිගත් ශාස්ත්‍රීය කෘති, සඟරා හා පර්යේෂණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් සමාජගත කර ඇත. ඒ අතර,

යන ග්‍රන්ථ ඉතා වැදගත් වේ.

එසේම මෑතකාලීනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කළ Conservation and Management of Heritage: Alternative Theorctical Reflections  (ANCIENT CEYLON Vol.26), ICOMOS SRI LANKA මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ උරුම සංරක්‍ෂණය හා කළමනාකරණ ප්‍රකාශන ග්‍රන්ථ මාලාව වූ,

01. සංස්කෘතික උරුමයන් සංරක්‍ෂණය හා කළමනාකරණය: නව ප්‍රවණතා

02. ජාත්‍යන්තර සංරක්‍ෂණ මූලධර්ම නැවත විමසීමක්

03. දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය: හානි වූ ජන අනන්‍යතා නැවත ගොඩ නැගීමක් ලෙස

04. බෞද්ධ උරුම සංරක්‍ෂණය; ශ්‍රී ලංකාවේ සැදැහැවත් විනාශකාරියෝ සහ වෙනත් ලිපි

05. ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්මාරක ප්‍රතිසංස්කරණය: පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණයට උපාය මාර්ග

තුළින් අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයට පත් වූ වැදගත් ලේඛන සිංහල භාෂාවට පරිවර්තනය කරමින්, මෙරට උරුම කළමනාකරුවන්ගේ දැනුම් පරාසයන් පුලුල් කිරීම සඳහා විශාල කැපකිරීමක් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සහ ශ්‍රී ලංකා වාස්තුවිද්‍යාඥයන්ගේ සභාවේ අධි සාමාජිකයකු වන විජේසූරිය  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාව උපදේශන සභාවේ සාමාජිකයකු ද වේ. මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයෙක්, සංරක්‍ෂකයකු, උරුම කළමණාකරුවෙක් ද වන ආචාර්ය විජේසූරිය යුනෙස්කෝවට අනියුක්ත රෝමයේ පිහිටි සංස්කෘතික දේපල සංරක්‍ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ (ICCROM) කාර්යමණ්ඩලයේ අන්තර්ජාතික සිවිල් සේවකයෙකු ලෙස අවුරුදු පහළොවක් සේවය කල පළමු ආසියානු වෘත්තිකයා ද වෙයි.

යුනෙස්කෝවේ උපදේශකයකු ලෙස ලෝක උරුමය පිළිබඳ ආචාර්ය ගාමිණී විජේසුරිය කළ සේවය නිසා ඔහු මෙම විෂය පිළිබඳව ලොව ප්‍රමුඛ විශේෂඥයන් අතරට එක් විය. වර්තමානයේ ඔහු රෝමයේ ICCROMහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදේශකයෙකු ලෙස, චීනයේ ෂැංහයි නුවර යුනෙස්කෝ අනුග්‍රහය යටතේ ඇති ආසියා-ශාන්තිකර කලාපය සඳහා වන ලෝක උරුම පුහුණු හා පර්යේෂණ ආයතනයේ (WHITRAP) අධ්‍යක්‍ෂකගේ විශේෂ උපදේශක, යුනෙස්කෝවේ අස්පර්ෂීය උරුම සම්මුතියේ පුහුණු වැඩසටහන සඳහා සම්පත්ධාරියෙකු මෙන්ම ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයේ ගෞරව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද වේ. එමෙන්ම ස්මාරක හා ස්ථාන පිළිබඳ අන්තර්ජාතික කවුන්සිලයේ (ICOMOS) ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා ද වෙයි.‍

ICCROM සම්මානය

ආචාර්ය ගාමිණී විජේසූරිය XXXII මහා මණ්ඩලයේ සභාපති පැට්‍රීෂියා කෙල් අතින් සිය සම්මානය ලබා ගැනීම
ආචාර්ය ගාමිණී විජේසූරිය XXXII මහා මණ්ඩලයේ සභාපති පැට්‍රීෂියා කෙල් අතින් සිය සම්මානය ලබා ගැනීම. (ඡායාරූපය: https://www.iccrom.org/)

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර වශයෙන් සංස්කෘතික උරුම ක්ෂේත්‍රයට හා ඉතාලියේ රෝම අගනුවර පිහිටි යුනෙස්කෝ අනුබද්ධිත සංස්කෘතික වස්තූන් සංරක්‍ෂණය සහ අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර ආයතනය (ICCROM) වෙත ඔහු කළ දායකත්වය අගයමින් ICCROM ආයතනයෙන් ලබා දෙනු ලබන ඉහලම ජාත්‍යන්තර සම්මානය වන ICCROM සම්මානයෙන් 2021 ඔක්තෝම්බර් 26 වන දින රෝමයේ දී පිදුම් ලබයි. 1969 වර්ෂයේ සිට ලොව පුරා විවිධ අධ්‍යන ක්ෂේත්‍රයන් නියෝජනය කරමින්, ICCROM සම්මාන 50ක් පමණ පිරිනමා ඇත.

මෙම සම්මානයෙහි වැදගත්කම වනුයේ මේ වන තෙක් දකුණු ආසියාවටවම මෙවැනි සම්මාන තුනක් පමණක් හිමිවීමත්, එය ලාංකිකයකුට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීමත් නිසාවෙනි. එසේම පුරාවිද්‍යාත්මක උරුම සංරක්‍ෂණය වෙනුවෙන් මෙම හිමි වීම ජාත්‍යන්තර වශයෙන් හා ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බරයට පත්විය යුතු කරුණක් වේ. මේ හරහා 20-21 සියවසේ ලොව බිහි වූ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් වූ චෙසාරි බ්‍රැන්ඩි, ශ්‍රීමත් බර්නාඩ් ෆීල්ඩන් නාමයන් අතරට ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ද එක්වීම ජාතියේ පිනක්මය.

ආචාර්ය ගාමිණී විජේසූරිය ICCROM සම්මානයෙන් පිදුම් ලැබු පසු සිය පවුල සමඟ
ආචාර්ය ගාමිණී විජේසූරිය ICCROM සම්මානයෙන් පිදුම් ලැබු පසු සිය පවුල සමඟ

එච්.සී.පී. බෙල්: 1890 ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා

හැඳින්වීම

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය ඉගෙනීමට මුල් පියවර තබන අවස්ථාවේ මා කනවැකුණු නාමයක් වන්නේ එච්.සී.පී. බෙල් නාමයයි. ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නිරත ඕනෑම විද්‍යාර්ථයෙකු, පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නිරත ඕනෑම අයෙකු සිය දිවියේ එක් වරක් හෝ අසා ඇතිවාට සැකයක් නැත. මන්දයත් බෙල් නාමය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් වන හෙයිනි.

එච්.සී.පී. බෙල්
එච්.සී.පී. බෙල්

එච්.සී.පී. බෙල් ළමා කාලය

අයර්ලන්තය හා ස්කොට්ලන්තය යුවලකට දාව 1851 සැප්තැම්බර් 21 වන දින එච්.සී.පී. බෙල් මහතා මෙලොව එළිය දකිනුයේ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වශයෙනි. එතුමාගේ සම්පුර්ණ නාමය වන්නේ හැරී චාර්ල්ස් පර්විස් බෙල්(Harry Charles Purvis Bell) යන්නය. හැරී යන නාමයෙන් කුඩා කල කා අතරත් බෙල් මහතා ප්‍රසිද්ධව ඇත. එතුමාගේ පියා හමුදාවේ මේජර් ජනරාල්වරයෙකි. හැරී සහ ඔහුගේ සහෝදරයා ඇලෙක්(Alec)  අධ්‍යාපනය සඳහා චෙල්ටෙංහම්(Cheltenham) ප්‍රදේශයේ පාසලකට ඔවුන්ගේ පියා විසින් යොමු කරනු ලබයි.

සිය සහෝදරයා වූ ඇලෙක් නුතන දත්තයන් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරද්දී කුඩා හැරී සිය අවධානය සෑමවිටම යොමු කරනු ලැබුවේ ඉතිහාසය නැතිනම් පැරණි දත්තයන් සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යනය කිරීමටය.

ලංකාවට පැමැණීම

සිය පාසල් විය 1870 වසරේ අවසන් කරනු ලබන බෙල් මහතා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබා ම ලංකාවට පැමිණෙන්නේ බොහෝ දුරට ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් මේ කාලය වන විට බොහොමයක් අනාවරණයන් ලංකාව වටින්ම සිදුවීම හේතු කරගෙන විය හැකිය. උදාහර වශයෙන් 1831 වසරේ ජොනතන් ෆොර්බස් විසින් සිගිරිය හදුනාගැනීම, 1853 වසරේ ඇඩම්ස් බේලි ඇතුළු පිරිසක් සිගිරියේ ගවේෂණයක නියලීම බෙල් නම් මේ තරුණයාගේ අවධානයට ලංකාව පත්වීමට හේතු වන්නට ඇත.

ඒ අනුව 1873 වසරේ ලංකාවේ සිවිල් සේවයට සම්බන්ධවීමේ වරම දිනාගැනීමට බෙල් මහතා සමත් වෙයි. ඒ සදහා ඔහුගේ පියා එවකට දැරූ හමුදාවේ ඉහල තනතුරද හේතුවන්නට ඇතැයි පැහැදිලිය. එතැන් පටන් සිය සම්පුර්ණ ජීවිත කාලයම බෙල් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපකරනු ලබයි.

බෙල් මහතා ලංකාවට පැමිණ සිවිල් සේවයේ නිරත වන අතරවාරයේද ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය සම්බන්ධයෙන් විවිධ දත්තයන් පර්යේෂණ සිදු කර ඇත. 1879 වසරේ රෙගු නිලධාරියෙකු වශයෙන් කටයුතු කරමින් සිටින බෙල් මහතාට විශේෂ අවස්ථාවක් හිමි වන්නේ මාලදිවයිනෙහි ඉතිහාසය, සංස්කෘතිය හා භාෂාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමටය.

ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වය

තවද 1880 වසරේ ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමටද එච්.සී.පී. බෙල් මහතාට අවස්ථාව හිමි වෙයි. එහිදී එම වසරේදීම බෙල් මහතා එම සංගමය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සගරාවේ සංස්කාරක ධුරයේද කටයුතු කිරීමට වරම් දිනා ගනී. එතුමා 1914 වසර තෙක්ම රාජකීය ආසියාතික සංගමයේ මෙරට ශාඛාවෙහි වාර්ෂික සගරාවේ සංස්කාරක ධුරය දරන ලදී. බෙල් මහතාගේ ජීව්තයේ සුවිශේෂ ම අවධියක වශයෙන් 1890 පටන් 1912 දක්වා වන කාලය පෙන්වාදිය හැකිය.

ශ්‍රී ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා

1890 වසරේ ජුලි මස 07 වන දින පුරාවිද්‍යා කටයුතු සදහා වෙනම ම ආයතනයක් Archaeological Survey of Ceylon නමින් ආරම්භ කරනු ලබන අතර එහි මුල්ම කොමසාරිස්වරයා වීමේ භාග්‍ය ලබා ගැනීමට සමත්වන්නේ එච්.සී.පී. බෙල් මහතාය. මෙහිදී සුවිශේෂ කරුණක් වන්නේ මේ සමය වන විට බෙල් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටීමයි.

ශ්‍රී ගංකා පුරාවිද්‍යාට දැක් වූ දායකත්වය

එහිදී එතුමාගේ මුල්ම වගකීම වන්නේද එම දිස්ත්‍රික්කයේ පුරාවස්තුන් සම්බන්ධයෙන් ගවේෂණය කිරීමය. එතැන් පටන් බෙල් මහතා විසින් ආරම්භ කරනු ලබන කැණීම්හි මුලික අවධානයක් අනුරාධපුරය, පොලොන්නරුව හා සිගිරිය ප්‍රදේශ දිනාගැනීමට සමත්ව ඇත. ඒ අතර උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේ ද ස්ථානයන් කීපයක්ම හදුනාගත හැකිය.

HCP ‌බෙල් මහතා හා ඔහුගේ කණ්ඩායමල 1896 සීගිරිය
HCP ‌බෙල් මහතා හා ඔහුගේ කණ්ඩායම

1896 සීගිරිය අනුරාධපුර ආශ්‍රිතව බෙල් මහතා කරනු ලැබූ කැනීම් හි වැදගත්ම කැණීම් වශයෙන් මහාවිහාර සංකීර්ණයේ බෙල් මහතා විසින් සිදුකරනු ලැබූ අනාවරණයන් පෙන්වාදිය හැකිය. 1895-1898 ථූපාරාමය, 1899-1902 රුවන්වැලිසෑය, 1902-1903 මිරිසවැටිය ප්‍රධාන විශාල පුරාවස්තුන් ප්‍රමාණයක් පොළොවෙන් එලියට මතු කර දැක්වීමට බෙල් මහතා සමත්විය. නමුත් ඒ අතරින් රංසිමාලකය හා සේල චේතිය පමණක් එතුමා විසින් ප්‍රතිසංස්කරණ කරන ලදී.

ඉහත කාල පරාසය තුලම අනුරාධපුර පැරණි නගරය අනාවරණය, කාලි කෝවිල අනාවරණය, එළාර සොහොන අනාවරණය, මුල්ලෙගල, පුලියන්කුලම හා රන්මසු උයනේ අනාවරණයන් සිදු කිරීමටද බෙල් මහතා සමත්ව ඇත. 1904-1905 සමයේ බෙල් මහතා පුරාවිද්‍යා අනාවරණයන් සිදු කල බවට දත්තයන් හමු නොවන අතර එම කාල සමය එතුමා සිය අනාවරණයන් වාර්තාකරණයට ගතකල බව හදුනාගත හැකිය.

පසුව 1906 වසරේ නැවත ක්ෂේත්‍රය සදහා යොමු වන බෙල් මහතා 1906 සිට 1910 දක්වා වෙස්සගිරිය, ලංකාරාමය, අභයගිරිය සම්බන්ධ අනාවරණයන් කිරීමට සමත්ව ඇත. බෙල් මහතා 1890 සිට 1895 අතර කාලයේ අනුරාධපුරය ආශ්‍රිතව සිදු කරනු ලැබූ ගවේෂණයන්ට නටඹුන් නගරයේ සිට සැතපුම් 5 ත් 6 ත් අතර අරයක පරාසයෙන් යුත් ප්‍රදේශයක් අයත්ව ඇත. තවද ජේතවන ආරාම පර්ශ්‍රයෙන් හමුවූ බෞද්ධ ගරාදි වැට ද බෙල් මහතා විසින් කරනු ලැබූ අනාවරණයක ප්‍රතිපලයකි.

එච්.සී.පී. බෙල් මහතාගේ අවධානය දිනාගැනීමට සමත් සෙසු ප්‍රදේශයන් අතර සිගිරිය හා පොලොන්නරුව ද සුවිශේෂය. 1895 වසරේ ආරම්භ කරනු ලබන සිගිරිය ආශ්‍රිත අනාවරණයන් අතර සිගිරි ගල, පියගැට පෙළ හා සිගිරිය බලකොටුවට අයත් සීමාවන් පැහැදිලි කිරීමට උත්සුකව ඇත. බෙල් මහතා සිගිරිය ආශ්‍රිතව සිදු කරනු ලැබූ අධ්‍යයනයන් අතර සුවිශේෂ කරුණක් වන්නේ එවකට දෙපාර්තමේන්තුවේ සටහන් සකස්කරන ශිල්පියා වශයෙන් කටයුතු කල ඩි.එ.එල්. පෙරේරා මහතා හරහා සිගිරි චිත්‍ර පිටපත් කිරීමය. එසේම එම චිත්‍ර සංරක්ෂණයටත්, ආරකෂා කිරීමටත් විවිධ පියවර ගන්නා ලදී.

පොලොන්නරුව ආශ්‍රිතව බෙල් මහතාගේ කැනීම් කටයුතු ආරම්භ වන්නේ 1900 කාල වකවානුවේය. මේ කාල වකවානුව වනවිට පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ගඩොල් ගොඩනැගිලි බොහොමයක් කදාවටීමේ තර්ජනයට මුහුණපා තිබු අතර ඒ හේතුවෙන් එම ස්ථානයන් සංරක්ෂණය කිරීමටත් ආරක්ෂා කිරීමටත් බෙල් මහතා උත්සුකව ඇත.

පොළොන්නරුවේ ස්ථාන රාශියක් බෙල් මහතාගේ අනාවරණයට නතු වූ අතර ඒ අතර, පරාක්‍රම සමුද්‍රය, නිශ්ශංක දාන විනෝද මණ්ඩපය, හින්දු දේවාලය, රජ මාලිගා පරිශ්‍රය, රන්කොත් වෙහෙර, පොත්ගුල් වෙහෙර, ශිව දේවාලය අංක 02, ශිව දේවාලය අංක 01, ගල් විහාරය, තිවංක පිළිමගෙය, කිරි වෙහෙර, ලංකා තිලකය ඇතුළු නිර්මාණයන් රැසක් වෙයි. 1910 හා 1911 කාල වකවානුවේදී බෙල් මහතාගේ අවධානය යාපහුවටත් මිහින්තලයටත් යොමු කර ඇත. එතුමාගේ යාපහුවේ අනාවරණයන් අතර යාපහුව ගල් පඩිපෙළ සුවිශේෂ ස්ථානයකි.

මෙම ස්ථානයන්ට අමතරව සීතාවක බැරැන්ඩි කෝවිල, 1894 හා 1895 කාලයේ බෙල් මහතාගේ අවධානයට පත්‍ර වූ තවත් ස්ථානයන් කීපයකි. බෙලිගල, බෙලිගල් කෝරලය, පේරාදෙණි නුවර යනාදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථානයන් ද බෙල් මහතාගේ අනාවරණයන් අතර වෙයි. කෑගලු වාර්තාව නමින් බෙල් මහතා සම්පාදනය කරනු ලැබූ කෘති අද පරිවර්තන කෘතියක් වශයෙන් බොහෝ ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් අත නිබද දකින්නට ලැබෙන කෘතියකි. තවද තමන් විසින් අනාවරණය කිරීමට සමත් සෙල්ලිපි දක්වමින් ඩි.එම්.ඩි. වික්‍රමසිංහ මහතා හා එක්ව සම්පාදනය කල Epigraphia Zeylanica කෘතිය සෙල්ලිපි අධ්‍යයනය කරන්නන් අතර වඩාත් ජනප්‍රිය කෘති අතර හදුනාගත හැකිය.

hcp-bell-stamp
පුරාවිද්‍යා ‌ෙදෙපාර්තුමේන්තුවේ 125 සමරුවට නිකුත් කල ‌බෙල් මහතාගේ රුව ඇතුලත් මුද්දරය

විශ්‍රාම ගැනීම

බෙල් මහතා පුරාවිද්‍යා කොමසාරිස් ධුරයෙන් 1912 වසරේ දෙසැම්බර් මස 08 වන දින විශ්‍රාම යන විට තරුණ සිවිල් නිලධාරියෙකු වූ ඊ.ආර්. අයර්ටන් මහතා වෙත වසර දෙකක පුහුණුවක් ලබා දී පැවතුණි. මුල් කාලීනව අනුරාධපුරය ආශ්‍රිතව ජීවත් වූ බෙල් මහතා සිය ජීවිතයේ අවසන් සමය ගත කිරීමට තෝරාගනු ලබන්නේ මහනුවර නගරයයි.

1937 වසරේ එතුමා සිය ජීවිත ගමනට තිත තබන විට එතුමාගේ සේවා දිවිය වසර 39කට අධික විය. එසේම විදේශිකයන් සේ ලංකාවට පැමිණ ලංකාවේ ජනතාව හා උරුමයන් වෙනුවෙන් සිය ජීවිතය කැප කර ලංකාවේ මියගිය ශ්‍රී ලාංකිකයන් අතර තවත් එක් ප්‍රධාන චරිතයක වශයෙන් එච්.සී.පී.බෙල් මහතා ලාංකික පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සදා අනුස්මරණීය චරිතයක වනවා නොඅනුමානය.

එච්.සී.පී. බෙල් මහතා සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ නැවත වරක් සටහන් වුයේ එතුමා මෙරටට කල සේවය නිමිත්තෙන් එතුමා වෙත ත්‍යාග වශයෙන් ලබාදී තිබු බුදු පිළිමයක නැවතත් එතුමා මියගොස් වසර වසර 100 කට පසු එතුමාගේ මුණුපුරා විසින් මෙරට දළදා මාලිගාවට පුජා කිරීමත් සමඟය.

1919 දී එච්.සී.පී. බෙල් වෙත තෑගි කළ බුද්ධ ප්‍රතිමාව, 2019 දෙසැම්බර් 17 වන දින දළදා මාලිගාවට ඔහුගේ මුනුපුරා කෙනත් බෙල් විසින් භාර දීම (ඡායාරූපය – ශ්‍රී දළදා මාලිගාව මධ්‍ය අංශය)

මුලාශ්‍ර
Bogahawatte, C. (2015, June). Sigiriya As an Attraction. Retrieved January 08, 2020, from Research Gate: https://www.researchgate.net/publication/277775257

Manatunga, A. (2003). H.C.P Bell and his Archaeologia research in Sri Lanka. Sri Lanka Heritage.

Mendis, C. (2018, June 17). Archaeological Milestones in Sri Lanka: Part 02. Retrieved January 20, 2020, from Archaeology.lk: https://www.archaeology.lk/tag/h-c-p-bell

Raynold, C. H. (1995). H C P Bell Archaeologist of Ceylon and Maldives. Royal Asiatic Journal, 323-326.

2021 ICCROM සම්මානලාභී ආචාර්ය ගාමිණී විජේසූරිය සඳහා රාජ්‍ය ගෞරව දැක්වීම

ICCROM සම්මානලාභී පළමු ශ්‍රී ලාංකිකයා: ආචාර්ය ගාමිණී විජේසූරිය

ආචාර්ය ගාමිණී විජේසූරිය XXXII මහා මණ්ඩලයේ සභාපති පැට්‍රීෂියා කෙල් අතින් සිය සම්මානය ලබා ගැනීම
ආචාර්ය ගාමිණී විජේසූරිය XXXII මහා මණ්ඩලයේ සභාපති පැට්‍රීෂියා කෙල් අතින් සිය සම්මානය ලබා ගැනීම. (ඡායාරූපය: https://www.iccrom.org/)

පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් සංස්කෘතික උරුමයන් ක්ෂේත්‍රයට සහ ICCROM සඳහා කරන ලද දායකත්වය හා සංවිධානයේ අභිවෘද්ධිව උදෙසා සිදුකරන ලද කාර්යභාරය අගයනු වස් 2021 ඔක්තෝම්බර් 26 වන දින රෝමයේ දී ICCROM සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සුවිශේෂී අවස්ථාව රාජ්‍ය මට්ටමින් සැමරීම හා සම්මානලාභී ආචාර්ය විජේසූරිය සදහා රාජ්‍ය ගෞරව පිරිනැමීම සදහා වන උත්සවය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් හා ජාතික උරුමයන්, රංග කලාව සහ ග්‍රාමීය රාජ්‍ය අමාත්‍යවරයාගේ හා සහභාගිත්වයෙන් වර්ෂ 2022 පෙබරවාරි 22 වනදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

ඇරඹුම

ආචාර්ය ගාමිණී විජේසූරිය මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය සහ MSc යන උපාධි දෙකම ලබා ගනිමින් වැඩිදුර අධ්‍යාපනය සදහා එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ Carnegie-Mellon විශ්වවිද්‍යාලයත් ඇසුරේ ශ්‍රාස්ත්‍රපති උපාධි ද්විත්වයක් ලබා ගත්තේය. අනතුරුව ඔහුගේ ආචාර්ය උපාධිය නෙදර්ලන්තයේ ලයිඩන් විශ්ව විද්‍යාලයෙන් දිනාගත්තේ ය. පළමුව, නාගරික සංවර්ධන අධිකාරියේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ පසුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ විය.

ඔහු ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ අනුප්‍රාප්තිකයා ලෙද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස පත්වීම් ලැබුවේ ය. පසුව 2004-2017 කාලය තුළ ඔහු රෝමයේ පිහිටි සංස්කෘතික දේපළ සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICCROM) සේවය කළේය. තවදුරටත් එම අන්තර්ජාතික මධ්‍යස්ථානයේ මාණ්ඩලික සාමාජිකයෙකු ලෙස සේවයේ නියුක්ත වීමට සුදුසුකම් ලැබූ පළමු ආසියාතිකයා ලෙස ද ඔහු වරම් ලැබීය.

සංස්කෘතියට සීමා නොවූ සංරක්ෂණය

වර්තමානයේ ඔහු ICOMOS Sri Lanka හි සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා කවුන්සිලයේ සාමාජිකත්වය දරයි. ඒ අනුව ඔහු උරුම කළමනාකරණය සම්බන්ධයෙන් සහ ලෝක උරුමයන් පිළිබඳ ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයෙකු ලෙස අවිවාදිත කීර්තියක් ලබා ඇත. සමාජයට සහ උරුමයට ප්‍රතිලාභ ලබා දෙන ස්වභාවධර්මය සහ සංස්කෘතිය සංරක්ෂණය කිරීම සඳහා පුද්ගල කේන්ද්‍රීය ප්‍රවේශයන් පිළිබඳ ඔහුගේ නව ඉදිරිපත් කිරීම් හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රශංසාවටද ලක්ව ඇත.

ආචාර්ය විජේසූරිය මහතාගේ කීර්තිමත් වෘත්තීය ජීවිතයට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ ප්‍රධානියා ලෙස සහ ලෝක පුරාවිද්‍යා සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස වසර 18ක කාලයක් ඇතුළත් ය. වසර 40 කට වැඩි කාලයක් ලෝක උරුමයන් සංරක්ෂණය කරමින්, ඔහු UNESCO වෙත සෘජු උපදෙස් ලබා දුන් ප්‍රධාන කණ්ඩායම් සාමාජිකයෙකු වූ ICCROM හා සම්බන්ධ වීමෙන් ඔහුගේ වෘත්තීය ජීවිතයේ උච්චතම ස්ථානයට ළගා කරගත්තේ ය.

ආචාර්ය ගාමිණී විජේසූරිය ICCROM හි ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන ලෝක උරුම නායකත්ව වැඩසටහනෙන් ලෝක උරුම පිළිබද ධාරිතාව ගොඩනැගීමේ උපායමාර්ගය හැඩගැස්වීමට නිබද දායකත්වය ලබා දුන්නේ ය. ඔහුගේ උපදෙස් ව්‍යාපෘති සදහා මුලපිරීම්, පර්යේෂණ කටයුතු සහ ප්‍රකාශන කාර්යයන් තුළින් රටවල් 100කට අධික ප්‍රමාණයක උරුමයන් 1000කට පමණ සෘජුවම ප්‍රතිලාභ ලබා ඇත. රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වන පරිදි වන මෙම දූත මෙහෙවර තුළ, ලොව පුරා වූ ව්‍යාපෘති 150කට අධික සංඛ්‍යාවක් සහ වෘත්තිකයන් 1000කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරීම අරමුණු කරගත් සංස්කෘතික ලෝක උරුම කළමනාකරණය පිළිබඳ දායකත්ව අත්පොත ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි ය.

තවදුරටත්, ඔහු ලෝක පුරාවිද්‍යා සම්මේලනයේ උප සභාපතිවරයා සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ විද්‍යාත්මක ජාත්‍යන්තර කමිටුවේ උප සභාපතිවරයා ලෙස තනතුරු හොබවන අතර විවිධ මානයන්ගෙන් යුත් සියලුම ප්‍රධාන උරුමයන් හා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සේවය කර ඇති අතර ඔහුගේ ප්‍රකාශන රාශියක් තුළින් නිපදවන ලද දැනුම සමාජගත කිරීමට කටයුතු කර ඇත.

ඔහු 2017 දී ICCROM වෙතින් විශ්‍රාම ගත් දා සිට, ආචාර්ය විජේසූරිය රෝමයේ ICCROM හි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදේශකයෙකු ලෙස සේවය කර ඇති අතර තවත් ජාතික හා ජාත්‍යන්තර තනතුරු කිහිපයක් දරයි. ඔහු WHITRAP Shanghai හි අධ්‍යක්ෂවරයාගේ විශේෂ උපදේශකයෙකු, ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි පුරාවිද්‍යා ආයතනයේ සම්මානනීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ.‍

ඔහු විසින් ආරම්භයේ සිට මතු කරන ලද දැනුම් සම්භාරය, ඔහු විසින් පුහුණුකරන ලද වර්තමාන උරුම සංරක්ෂණයින් සතු වෘත්තීයමයභාවය  තුළින් පැහැදිලි වේ.

archaoelogy.lk හි අධ්‍යයන අංශය, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මෙම උත්සවයේ එක් අනුග්‍රහකයකි.

2021ICCROM සම්මාන උළෙල නරඹන්න

2021 ICCROM සම්මාන උළෙල එම ආයතනයේ නිල යූටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න. එහිදි ගාමිණි විජේසුරිය මහතා පැවත් වු දේශනයට ද සවන් දෙන්න.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මෙරට සමාජ ආයතන කෙරේ ඍජු බලපෑම් ඇති කිරීමට සමත් වූ ‘මහින්දාගමනය’ නමින් දන්නා සංස්කෘතික ආගමනය තහවුරු කෙරෙන අභිලේඛන සාධක දෙකක් දැනට විද්‍යමානව පවතී. මිහින්තලේ පූජා භූමියේ සන්නිපාත ශාලාවට නුදුරින් ගල් පර්වතයක කොටවා ඇති, අක්ෂරවිද්‍යාත්මකව ක්‍රි. ව. පළමුවන සියවසට අයත් කොට ඇති පර්වත ලිපිය ඉන් එකකි. මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි. එහි අන්තර්ගතය මගින් පළමු ලිපියට වඩා නිශ්චිත ලෙස මහින්දාගමනය තහවුරු කෙරෙනා බැවින් ඒ සම්බන්ධ වටිනා ම අභිලේඛන සාක්ෂිය ලෙස පිළිගත හැකි වෙයි.

1935 වර්ෂයේ දී එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර සැලසුම් ශිල්පියාව සිටි ඩබ්. ඊ. ප්‍රනාන්දු මහතා විසින් තමන්ට දන්වන ලදුව, නැවතත් එම වර්ෂයේදී ම පරීක්ෂා කර බලා පැහැදිලි ලෙස පිටපත් කර ගන්නට යෙදුණු මෙම පර්වත ලිපිය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් පරණවිතාන විසින් ප්‍රසිද්ධ කරන ලද්දේ 1962 වර්ෂයේ දී ය. එය රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ විසි වන වෙළුමෙහිි ‘An inscription of Circa 200 B. C. at Rajagala commemorating Saint Mahinda – Paranavitana,S’ මැයෙන් දක්නා ලැබේ. මෙම අභිලේඛනය සොයාගත් ආකාරය, එහි අක්ෂර පිළිබඳ තත්ත්වය හා ඒවා කියවා ගැනීමේ නිරවද්‍යතාව, පුද්ගල නාම, ඓතිහාසික සාධක සමග වන තුල්‍යතාව මෙන් ම ‘ඉදිය’, ‘යෙ’ වැනි යෙදුම් පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් ද ඊට අන්තර්ගතව තිබේ.

අඟල් පහක සිට අඩියක ප්‍රමාණයේ විශාලත්ව පරාසයක විහිද යන අක්ෂර සහිත තත් ලේඛනයේ කියවීමේ නිරවද්‍යතාව ගැටලු අභිමුඛ නොකරයි. තරමක් දුරට ගෙවී ගොස් ඇති දෙවැනි භාගයේ මධ්‍ය කොටසේ අක්ෂර තුනක් එනම් ‘තෙ’, ‘ර’ හා ‘ම’ යන අක්ෂර වෙනත් සාධක සමග සලකා බලමින් නිගමනය කොට ඇති ආකාරය අභිලේඛන`ඥයකු ලෙස පරණවිතාන සතු වූ දක්ෂතාවට සාධකයකි. එහෙත් එපරිද්දෙන් පසුකාලීන විද්වතුන් සියල්ලන් ම පාහේ එකඟ වී ඇතත්, ඔහුගේ අර්ථකථනය සමග එකඟවීම අපට බෙහෙවින් දුෂ්කර ය. වෙනත් ආකාරයෙකින් කිවහොත් පරණවිතානගේ අර්ථකථනය, සැලකිය යුතුව තිබුණු නමුත් නොසලකා හරින ලදැ යි පෙනෙන බොහෝ කරුණු නිසා සාධාරණ ශාඞකනීය බවක් ඇති කිරීම මගින් විකල්ප කියවීමකට අපව යොමු කරවයි. පරණවිතානගේ කියවීම පහත පරිදි ය.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය

‘යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික ඤතෙර [තෙර ම ]හිද තෙරහ තුබෙ’

This is the stūpa of the Elder Idika and the Elder Mahida, who came to this Island by its foremost good fortune (මේ මෙම දිවයිනේ සමෘද්ධිය පිණිස ප්‍රථමයෙන් පැමිණියා වූ ඉට්ඨිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ථූපයයි)iii  (Paranavitana 1962:160).

ඉහත පාඨයෙහි පුද්ගල නාම අනන්‍ය කිරීම සම්බන්ධයෙන් පරණවිතානගේ නිගමනය ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නැත. ඒ නාමද්වය මිහින්තලා පර්වත ලිපියේ ද සඳහන්ව ඇති බැවින් ඊට වඩාත් ශක්තිමත් පදනමක් නිර්මාණය වේ. ‘මහිද’ යන්න දෙතැන්හි ම එක ම ආකාරයෙන් දක්නා ලැබෙන අතර ‘ඉඩික’ යන්න මිහින්තලා ලිපියේ දැක්වෙනුයේ ‘ඉටික’ ලෙසිනි. එහෙත් ‘ඩ’, ‘ට’ බවට පෙරළීම සිංහල ව්‍යාකරණයේ සුලබව දැකිය හැකි තත්ත්වයක් බව පහත අභිලේඛන සාධක ඇසුරින් ම පෙන්වා දීමට පිළිවන.

පාග                –          පාග   (E.N. no.4)

ටිසතර            –          පඩිසතර (Paranavitana 1983:no.46, 48, 79,85)

ම                 –          පම (ibid 1983:no.37, 81, 86)

ගෝපබ්බත    –          ගොපවත (ibid 1983:no.67)

පුද්ගල අනන්‍යකරණයේදී පරණවිතාන සමග වන එකඟතාව පෙළ අර්ථකථනයේ දී ද ඇති කර ගැනීම අපහසු කරුණෙකි. සිය කියවීම පැහැදිලි කරමින් පරණවිතාන පෙන්වා දුන්නේ ඉට්ඨිය තෙරුන් සමග සම්බන්ධ කොට ඇති, ‘මෙම දිවයිනෙහි සෞභාග්‍යය පිණිස (වෙනත් දේශයකින්) පැමිණි බව සඳහන් මහින්ද තෙරුන්’ යන්න මෙරට බුදුදහම පැතිරවීම පිණිස වැඩම කළ අරහත් මහින්ද තෙරුන් උදෙසා යෙදී ඇති බව ය. ඒ අනුව මිහිඳු තෙරුන්ගේ පිරිනිවීමෙන් පසුව උන්වහන්සේගේ ධාතූන් නිධන් කොට දිවයින පුරා ස්තූප ඉදි කළ බවට සාහිත්‍ය මූලාශ්‍රයේ දැක්වෙන සඳහනiv  විය හැක්කක් ය යනු ඔහුගේ අදහස වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මුල් කියවීමෙන් අනතුරුව ගතව ඇති දශක පහකට අධික කාලය පුරා රජගල ලිපිය කෙරේ සිය අවධානය යොමු කළවුන් සියල්ලන් ම පාහේ පරණවිතානගේ අර්ථකථනය ම පදනම් කර ගනිමින් එකී අදහස්හි ම පිහිටා කටයුතු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මේ පටු රාමුවෙන් මිදී තත් ලිපිය වෙනත් මානයකින් අර්ථකථනය කිරීමට තරම් සාධාරණ පදනමක් එකී ලිපිය තුළින් ම මතු කරගැනීමට හැකි බව ඔවුනට නොපෙනී යාම අවාසනාවෙකි.

නව කියවීමක් පිණිස එක් වැදගත් ප්‍රශ්නයක් එනම්, තත් ලිපියේ මහින්ද තෙරුන්ට පූර්වයෙන් ඉට්ඨිය තෙරුන්ගේ නම සඳහන් කරන ලද්දේ කුමක් හෙයින් ද යන ප්‍රශ්නය මගින් ප්‍රවේශයක් සම්පාදනය කරවයි. පුදුමයකට මෙන් මේ කරුණ පරණවිතානගේ සියුම් නිරීක්ෂණාක්ෂියට ග්‍රහණය නොවී ය. ඇතැම් විට මේ ගැටලුව විසඳීම පිණිස යම් ප්‍රයත්නයක් දැරූ පළමුවැන්නා විය හැකි එල්ලාවල මේධානන්ද හිමි යොජනා කළේ මිහිඳු හිමියන්ට පෙරාතුව ඉට්ඨිය තෙරුන් පිරිනිවෙන්නට ඇති බවත්, උන්වහන්සේ මිහිඳු තෙරුන්ට වඩා වැඩිමහලු වන්නට ඇති බවත් ය (2006:52). එසේ වුවත් එකී සාධකද්වය ම පිළිගත හැකි තරම් විශ්වසනීය බවක් පෙන්නුම් නොකරයි. ප්‍රථම දූත පිරිසේ අනෙකුත් සාමාජිකයන්ගේ පිරිනිවීම ඒවා සිදු වූ අනුපිළිවෙලින් සාහිත්‍ය මූලාශ්‍රයේ සඳහන් ව නැත. මහාවංසය උන්වහන්සේලාගේ පිරිනිවීම මිහිඳු තෙරුන්ගේ පිරිනිවීමෙන් පසුව සඳහන් කොට ඇති බව අවධානයට ලක් විය යුත්තකි (xx:55). ‘පඤචාපි තෙ මහාථෙරා’ යන්න විග්‍රහ කරන ටීකාකරු, “…බහුශ්‍රැත වූ මහාප්‍රාඥ වූ මහින්දාදී මහ තෙරවරයෝ විනයාදී බුද්ධ වචනය බබුළුවා කල්යාමේ දී අනිතත්‍යතාවශයට ගියාහු ය යි මෙසේ මෙහි පද යෝජනා කට යුතු යැ….” යි කියයි (V. K. 421). එබැවින් මේධානන්ද හිමිගේ පළමු අදහස පිළිගැනීමට අපහසු ය. ඉට්ඨිය තෙරුන් මිහිඳු තෙරුන්ට වඩා වැඩිමහලු වන්නට ඇතැ යි තහවුරු කිරීමට තරම් හේතුවක් හෝ සාධකයක් නොපෙනෙන අතර, එසේ වී යැ යි සිතුව ද එය ප්‍රස්තුතය හා සම්බන්ධ කළ හැක්කේ බෙහෙවින් ආනුමානික හා ශාඞකනීය තත්ත්වයකින් පමණි.

මිහිඳු හිමියන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සාහිත්‍ය මූලාශ්‍රයේ මතු නොව අභිලේඛන මූලාශ්‍රයේ ද පෙන්නුම් කෙරෙන බැවින් ඉට්ඨිය තෙරුන්ගේ නම මුලට පැමිණීම අහම්බයක් හෝ අත්වැරදීමක් වීමට නුපුළුවන. ලක්දිවට එවීම පිණිස වූ කණ්ඩායමේ නායකත්වය භික්ෂු සංඝයා විසින් සම්මත කරන ලද්දක් බව දීපවංසය අවධාරණය කරයි (xii:22). එය තවදුරටත් කියන්නේ මිහිඳු හිමියන් සංඝස්ථවිර හා ගණපාමොක්ඛ වූ බවත්, ඉට්ඨියාදී සිව්නම සමානොපාධ්‍යායන් වූ බවත් ය (xii:12,26). මිහිඳු රහතන් වහන්සේව දූත පිරිසේ ප්‍රධානියා බව හැඟවීම උදෙසා ‘මහාගණී’, ‘ගණපුඞග’, වැනි විශේෂණයන්ගෙන් යුතුව හැඳින්වීම දීපවංසයේ කැපී පෙනෙන ලක්ෂණයකි (xiii:06, 25, 26). අනෙක් අතින් මිහින්තලා පර්වත ලිපියේ ද (Paranavitana 1983:33, no.21) අනුපිළිවෙලින් ‘මහිද’, ‘භද්‍රසාල’, ‘ඉටික’, ‘උති’ යන නාමයන් යොදා  තිබෙන බැවින්  හුදෙක්v වැඩිමහලු පිළිවෙල ගරු කරන ලද නම් එහිදීත් ඉට්ඨිය තෙරුන්ගේ නම පළමුවෙන් නොයෙදුණේ මන් ද යනු නැගිය හැකි සාධාරණ පැනයෙකි.

සාහිත්‍ය මූලාශ්‍රයෙහි නිතර ම පාහේ මිහිඳු තෙරුන්ට පසුව අනෙකතුත් සාමාජිකයන් දැක්වීමේ දී ඉට්ඨිය තෙරුන්ට ප්‍රමුඛත්වය පිරිනමා ඇති ආකාරය විශේෂ අවධානයට ලක් විය යුත්තකි. මහාවංසය ඉට්ඨිය, උත්තිය, සම්බල හා භද්දසාල යන අනුපිළිවෙල දක්වා ඇති අතර (xii:07) උන්වහන්සේ පංචමහා තෙරවරුන්ගේ දෙවැන්නා ය. දීපවංසයේ ද ඉට්ඨිය තෙරුන් ප්‍රමුඛ කොට ගත් අනුපිළිවෙල ගරු කොට ඇති අතර සම්බල තෙරුන්ට පෙරාතුව භද්දසාල තෙරුන්ගේ නම ඇතුළත් කර තිබේ (12:12). දේවදූත සූත්‍ර දේශනා කළ අවස්ථාවට අදාළව මහාවංසයේ යෙදී තිබෙන ‘සථෙරො’ යන්න විග්‍රහ කරන ටීකාව, ඉන් ඉට්ඨිය තෙරුන් ආදී කොට ඇති තෙරවරුන් විසින් පිරිවරන ලද බව අදහස් කරයි (339) vi.  ක්‍රි. ව. 05 වන සියවසෙහි පමණ රචිත යැ යි සැලකෙන සමන්ත පාසාදිකාවේ ද මේ අනුපිළිවෙල කැඩෙන බවක් පෙනෙන්නට නැත. දක්ඛිණගිරි ජනපද චාරිකාව සඳහා ඉද්ධියාදී සිව් මහ තෙරවරුන් ද, සඟමිත් පුත් වූ සුමන සාමණේරයන් ද, භණ්ඩුක උපාසක ද විසින් පිරිවරන ලද මිහිඳු තෙරුන් පිළිබඳ එහි දක්වා තිබේ (69-70). දූත පිරිසේ නම් සඳහන් කිරීමේ දී ද සංඝස්ථවිර වූ මිහිඳු හිමියන්ට පසුව, ඉදධිය, වුතතිය, භදදසාල, සමබල, සුමන, භණ්ඩුක ආදී අනුපිළිවෙල සඳහන්ව ඇති අතර ම, මෙම නිරූපණය දීපවංසයෙන් උපුටා ගන්නට ඇතැ යි කිව හැකි තරමට ඒවා අතර සමාන බවක් දක්නට ලැබෙන බව කිවමනා ය (See, S.P. 70-71, දී. ව. xii:12) මිහින්තලා පර්වත ලිපියේදී පමණක් ඉට්ඨිය තෙරුන්ට පෙර භද්දසාල යන නම යෙදී තිබෙනු නිරීක්ෂණය කිරීමට පිළිවන. එහෙත් එය දූත පිරිසේ අවශේෂ සාමාජිකයන් අතර ඉට්ඨිය තෙරුන්ට හිමිව තිබූ ප්‍රමුඛත්වය සැක කිරීමට තරම් ප්‍රමාණවත් සාධකයක් නොවේ. මේ කරුණු මගින් පෙනී යන්නේ මිහිඳු තෙරුන් මුලුමහත් ධර්මදූත පිරිසේ ම නායකයා ලෙසත්, ඉට්ඨිය තෙරුන් අනෙකුත් සාමාජිකයන් අතර ප්‍රමුඛයා ලෙසත් සැලකෙන්නට ඇති බව සිතීම අසාධාරණ නොවන්නක් බව ය. ආගමික අර්ථයෙන් ඔවුහු සිව්දෙන සමානුපාධ්‍යායවරු වූහ. එවැනි වාතාවරණයක් තුළ අනෙක් හිමිවරුන් සමග කෙසේ වෙතත් මිහිඳු තෙරුන්ගේ නමට පූර්වයෙන් ඉට්ඨිය තෙරුන්ගේ නම දැක්වීමට තරම් ජ්‍යෙෂ්ඨත්වයක් උන්වහන්සේ තුළ වී යැ යි සිතීම උගහට ය.

තත් අභිලේඛනය හා ඊට ප්‍රස්තුත වූ ස්තූපයේ කාල අවකාශීය සම්බන්ධය නොසලකා හැරියහොත් මෙම ගැටලුව උදෙසා විසඳුමක් නොලැබී යනු ඇත. ස්තූපය මිහිඳු තෙරුන්ගේ පිරිනිවීමෙන් ස්වල්ප කලකට පසුව ඉදි කරන ලදැ යි යෝජනා කරමින් පරණවිතාන නිගමනය කළේ තත් ලේඛනය ද ඊට සමකාලීන වන බවයි (1962:161). සිරිසෝම හා මේධානන්ද හිමි ද එම අදහස ම දරති (සිරිසෝම 1990:38, මේධානන්ද හිමි 2008:236). ඒ අනුව මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය සිදු වූයේ උත්තිය රජුගේ අටවන රාජ්‍ය වර්ෂයේදී බැවින් මෙම ලිපිය හා ස්තූපය ක්‍රි. පූ. දෙවන සියවසට අයත් වීම අපේක්ෂා කළ යුත්තකි. ලිපියේ අක්ෂරවිද්‍යාත්මක ලක්ෂණ අනුව ද මේ කාල අවකාශීය ගැළපීම ගැටලුකාරී නොවේ. එසේ වුව ද මිහිඳු හිමියන්ගේ ධාතූන් නිධන් කිරීම පිණිස ම එකී ස්තූපය ගොඩනගන්නට ඇතැ යි පෙන්නුම් කිරීමට ඉහත විද්වතුන්ගේ කරුණූ දැක්වීම් මගින් උත්සහ කොට තිබීම තවදුරටත් පරීක්ෂා කර බැලීමට යෝජනා කිරීමට පිළිවන.

මිහිඳු තෙරුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව ශේෂ වූ ධාතූන්ගෙන් අඩක් ආදාහන ස්ථානයේම නිධන් කළ බවත්, අවශේෂ ධාතූන් නිධන් කොට ලක්දිව පුරා දාගැබ් කර වූ බවත් දීපවංසයේ හා මහාවංසයේ කියැවේ (දී.ව. xvii:112, ම.ව.xx:46) මෙම තොරතුර රජගල ලිපිය සමග උපරිරෝපණය වන බව පෙනී යාම පරණවිතාන ඇතුළු විද්වතුන්ගේ අදහස් උදෙසා පාදක වන බව පෙනේ (බලන්න, හරිස්චන්ද්‍ර 2001:115-117, සිරිසෝම 1990:37-38, සෝමතිලක 2008:458, මේධානන්ද හිමි 2008:236). මේ පිළිගැනීම කෙතෙක් බලවත් වී ද යත් සිරිසෝම මෙම ලිපිය මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් නිදන් කළ දාගැබක් ගැන සඳහන් වන්නක් ලෙස හැඳින්වීමට උත්සුක විය (බලන්න, 1986:82-83). ඉට්ඨිය මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ ද මේ ස්තූපයේ ම නිදහිත වේ යැ යි මේධානන්ද හිමි කර ඇති සඳහනින් (2008:236) ද, තත් ස්තූපය විෂයෙහි ඉට්ඨිය තෙරුන්ගේ සම්බන්ධය දෙවැනි මට්ටමකට පත් කොට ඇති ආකාරය දක්නා ලැබේ. ඉන් වක්‍රව අදහස් වනුයේ ‘මිහිඳු තෙරුන්ගේ ධාතූන් තැන්පත් කිරීම පිණිස සෑදූ ස්තූපයේ ඉට්ඨිය තෙරුන්ගේ ධාතූන් ද තැන්පත් කරන ලද්දේ ය’ වැනි අදහසකි. ශ්‍රී ලංකාවේ පැරැණි බ්‍රාහ්මීය සෙල්ලිපි මැයෙන් සැපයූ ලිපියක දී ඒවායින් හෙළිවන ආගමික තොරතුරු සාකච්චා කිරීමේ දී, ‘රජගලින් ලැබී ඇති මිහිඳු හිමිගේ නම සඳහන් ලිපිය’ ඉතා වැදගත් ලිපිය සේ සිරිසෝමගේ නිරීක්ෂණයට ලක්ව ඇත (1990:37). එහි මිහිඳු හිමිගේ නම පමණක් නොව ඉට්ඨිය තෙරුන්ගේ නම ද ඉඩික තෙර යනුවෙන් සඳහන් වන බව අනතුරුව ඔහුට පෙනුනේ ය (එම 1990:37). අපගේ අදහස නම් මෙලෙස අර්ථකථනය කිරීම හේතු කොට ගෙන එහි සැබෑ උපයෝගිතාව හා කර්තෘත්වය යටපත් ව ගියේ ය යනුයි.

මේ කරුණ වටහා ගැනීමේ දී ඉට්ඨිය තෙරුන් හා රජගල ප්‍රදේශය අතර සබඳතාව ද සැලකිල්ලට ලක් විය යුතු ය. ප්‍රථම ධර්මදූතයන්ගේ කාර්යභාරය ඔවුන් මෙහි ගත කළ කාලයට සාපේක්ෂව ප්‍රමාණවත් පරිදි වාර්තා කර නොමැති බව පෙනී යන කරුණකි. කවර මූලාශ්‍රයක වුව දැක්වෙනුයේ පළමු වර්ෂයකට ආසන්න කාල සීමාවේදී උන්වහන්සේලා වෙතින් ඉටු වූ වැඩ කොටසයි. ඉතිරි දශක පහකට ආසන්න කාලය තුළ ඔවුහු කවරාකාර සේවයක නිරත වීද යනු අපැහැදිලි ය.vii  වෙනත් බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙන් ම ප්‍රථම ධර්මදූතයන්ගේ කාර්ය සාඵල්‍යය සම්බන්ධයෙන් ද අනුරාධපුර කේන්ද්‍රීය දෘෂ්ටිකෝණය බල පවත්වා තිබීම නිසා එහි ප්‍රායෝගික හැසිරීම නිසියාකාරව අවබෝධ කර ගැනීමේ දුෂ්කරතාවක් පර්යේෂකයනට අභිමුඛ වීම නොවැළැක්විය හැකිකකි. එහෙත් අනුමාන වශයෙන් කිව හැක්කක් නම් ක්‍රමයෙන් භික්ෂු පිරිස වර්ධනය කරමින්, උන්වහන්සේලා ප්‍රාදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වන්නට ඇති බවයි. පූර්ව බ්‍රාහ්මී ලේඛනවලින් පැහැදිලි කෙරෙන පරිදි කෙටි කාලසීමාවක් තුළ නව දර්ශනයේ පුළුල් ව්‍යාප්තියක් සිදු වීම පිණිස ඒ මගින් විශාල පිටුවහලක් ලැබණා විය යුතු ය. එය පිළිගත හැකි නම් ඉට්ඨිය තෙරුන් රජගල කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවන්නට ඇතැ යි ද, ඒ හේතුවෙන් උන්වහන්සේට එකී ප්‍රදේශයෙහි විශාල ගරුත්වයක් හිමිව තිබෙන්නට ඇතැ යි ද අනුමාන කිරීමට වැඩි ඉඩකඩක් පවතී. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතූන් නිදන් කොට ස්තූපයක් කරවීම පිණිස බැතිමතුන්ගේ පෙළඹවීමක් ඇති වීම අනපේක්ෂිත නොවේ. එහිදී පූර්වයෙන් පිරිනිවුණු මිහිඳු තෙරුන්ගේ ධාතූන් ද එහි තැන්පත් කරන්නට ඇත. එහෙත් ස්තූපය සෑදීමට මුල් වූයේ ඉට්ඨිය තෙරුන්ගේ පිරිනිවීම බැවින් උන්වහන්සේගේ නම අභිලේඛනයේ මූලික ව දක්වන්නට උත්සුක වීම බෙහෙවින් ස්වභාවික වූවකි. මිහිඳු හිමිගේ නම දෙවැනිව දැක්වීමට හේතුව ඉට්ඨිය තෙරුන් අම්පාර ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල දී මූලිකත්වය ගෙන කටයුතු කිරීම බව මීට පෙර ඇතැම් විද්වතෙකු විසින් පෙන්වාදෙනු ලැබ තිබේ (බලන්න, ධම්මවිසුද්ධි හිමි 1995: 59, සෝමතිලක 2008:459).

බොහෝ දෙනා සිතන පරිදි මිහිඳු තෙරුන් පිරිනිවීමෙන් පසුව උන්වහන්සේගේ ධාතු නිදන් කිරීම පිණිස මෙම දාගැබ කරවී නම් ඉට්ඨිය තෙරුන් ඊට ප්‍රථම පිරිනිවියේ යැ යි පිළිගැනීමට සිදු වේ. එහෙත් මිහිඳු හිමියන් උදෙසා සමාජයේ පැවැති පිළිගැනීම සලකන කල්හි ස්තූපය සම්බන්ධ අභිලේඛනයේ උන්වහන්සේගේ නම පසුවට දැක්වීම පිණිස අතපසු වීමක් විණැ යි සිතීම අසීරුය. ඉට්ඨිය තෙරුන් හා මෙම ප්‍රදේශය අතර සබඳතාව සනාථ  කිරීම පිණිස උපකාර වන යෙදුමක් තත් අභිලේඛනයේ ආරම්භයේදී ම යෙදී තිබේ. එනම් ‘ඉම දිප’ යනු යි.

පරණවිතාන ද, ඔහු අනුව ගිය අනෙකුත් විද්වතුන් ද ‘දිප’ යන්න විග්‍රහ කළේ දිවයින හෙවත් දූපත යන අර්ථයෙනි. එබැවින් ඉන් අදහස් කරන ලද්දේ ලංකාද්වීපයයි. සමස්ත දිවයිනයි. ප්‍රස්තුත ලිපිය අර්ථකථනයේදී මිහිඳු තෙරුන්ට වැඩි සම්බන්ධයක් ඇති කරවීම පිණිස ද එය හේතුවක් වන්නට ඇත. සාහිත්‍ය මූලාශ්‍රයෙහි දූපත යන අදහස දීම පිණිස ‘දීප’ යනු භාවිත ව ඇති අවස්ථා බෙහෙවි. මහාවංසයේ ලංකාව හැඳින්වීම සඳහා ලංකාදීප, ඕජදීප, වරදීප, මණ්ඩදීප යනු භාවිත ය (i:19, 22, xiii:65, xv:59, 93, 127). සහස්සවත්ථුප්පකරණයේ ‘තම්බපණ්ණිදීප’ යනු භාවිතව ඇත්තේ ද ලංකාද්වීපය හැඳින්වීම සඳහාම ය (ස. ව. 3, 9, 10, 34, 36, 47, 50, 52, 55, 83, 99, 105, 115, 123, 125). මීට අමතරව ‘සීහළදීප’ යනු ද යෙදී තිබේ (එම: 20, 39, 126, 136, 137, 141, 150, 155, 161). දහවන සියවසට ආසන්න කාලයක රචනා වන්නට ඇතැ යි සැලකෙන සහස්සවත්ථුවෙහි ද ‘ලංකාදීප’ (33, 36, 86, 91, 93, 104, 129, 153, 160, 177, 187, 190), ‘සීහළදීප’ (21, 43, 158, 161, 162, 171, 180, 191) යන භාවිතයන් දැකගත හැකි ය. ‘පියංගුදීප’ (ම. ව. xxxii:52, සී. ව. 145-6, 150, ස. ව. 40, 56, 57, 165, 186, 191) හා ‘අන්තරදීප’ (සී. ව. 136) ආදී යෙදුම් භාවිතව ඇත්තේ එනමින් යුතු දිවයින් හෙවත් දූපත් හැඳින්වීම පිණිස බවට සැක නැත. ශාස්තෲන් වහන්සේ හා සමානව ලංකාද්වීපය යහතන්හි පිහිටු වූ බැවින් මිහිඳු තෙරුන් උදෙසා මහාවංසයෙහි ‘දීපදීපො’ යන විශේෂණය යෙදී තිබේ (xiv:65). ක්‍රි. ව. 03 වන සියවසට පමණ අයත් නාගර්ජුනීකොණ්ඩ ලිපියක තංබපංණිදීපය ප්‍රසාදයට පත් කළ තෙරවරු viii ගැන කියැවේ (Vogel 1933:22, F) එහි ‘තංබපණ්ණිය’ යනු තම්බපණ්ණිදීප හෙවත් ලංකාදීපය බව පිළි ගැනේ.

ඉහත නිදසුන් මගින් පෙනෙනුයේ දූපතක් හැඟවීම පිණිස ‘දීප’ යනු යෙදිය හැකි බවත්, ලංකාව හැඳින්වීම උදෙසා එය විවිධ අවස්ථාවන්හි බහුලව භාවිතව ඇති බවත් ය. එසේ වුවත් ‘දීප’ යන්නට ඇති එක ම අර්ථය දූපත යැ යි හෝ, ‘දීප’ යනු භාවිත සෑම අවස්ථාවකදීම ඉන් දූපත යනු අදහස් විය යුතු යැ යි හෝ සිතීමට ඉක්මන් විය යුතු නැත. ‘ද්ව’ හා ‘අප්’ යන්නේ එකතුවෙන් නිපන් ‘ද්වීප’, පාලි භාෂාවෙන් ‘දීප’ හා ප්‍රාකෘතයෙන් ‘දීව’ ලෙස පෙනී සිටියි (Turner 1966:382, Williams 1979:507) ‘දිව’ හා ‘දුව’ යනුවෙන් සිංහලයට නැගෙන එහි අරුත් නම් භූමිය, දූපත ආදියයි (ibid 1966:382) රණවැල්ල ඊට දිවයින යැ යි අරුත් දී ඇති මුත් ඒ සමග ම දිපරාජ යන්නට ‘දූපතේ රජු’, ‘ප්‍රදේශ රජු’ ආදී අර්ථ ද එක්කොට තිබේ (2004:137, 2007:85).  වර්තමානයේදී දූපත හෝ දිවයින යන අර්ථය ජනප්‍රියව ඇති නමුත් යම් භූ අවකාශයක් තුළ වෙන්ව පිහිටි නැතිනම් ඉස්මතුව පිහිටි ප්‍රදේශයකට ද ‘දීප’ යැ යි භාවිත කිරීමට අවකාශ පවතී. එවැනි අවස්ථා කිහිපයක් පහත සංක්ෂිප්ත කෙරේ.

විජය ඇතුළු සත්සියයක් පිරිස සහ ඔවුන්ගේ භාර්යාවන් හා කුමාරවරු වෙන් වෙන් වශයෙන් දමා එවන ලද කල්හි ඒ පුරුෂ ස්ත්‍රී කුමරුවෝ වෙන් වෙන් දිවයින්හි ගොඩ බැසි බව වංසකතාව කියයි (ම. ව. vi:43-44). කුමරුවන් බැසි දිවයින ‘නග්නද්වීප’ වී යැ යි ද, භාර්යාවන් පිහිටි දිවයින ‘මහින්දදීප’ වී යැ යි ද එහි ම සඳහනි (එම vi:45).ix  අවසන් වරට විජය ඇතුළු සත්සියයක් පිරිස ගොඩබැස්සේ සුප්පාරක පටුනෙන්x  බව කියා ඇති බැවින් ඔවුන්ගේ සමුද්‍ර මාර්ගය බටහිර ඉන්දීය වෙරළ ඔස්සේ වැටී තිබුණු බව පෙනේ. මෙම ප්‍රදේශයේ වෙන් වෙන්ව පිහිටි දූපත් දක්නා නොලැබෙන බැවින් ‘නග්න’ හා ‘මහින්ද දීප’ යනුවෙන් කියැවෙනුයේ බටහිර ඉන්දීය භූමි ප්‍රදේශ යැ යි වටහා ගැනීමට ඉඩ ලැබේ. එහිදී ‘දීප’ යනු භාවිතව ඇත්තේ ආරක්ෂිත ප්‍රදේශය හෝ භූමි ප්‍රදේශය වැනි අර්ථයකිනි. දම්පියා අටුවා ගැටපදය ‘දීප’ අර්ථගන්වා ඇත්තේ ‘පිහිට සුන් මුහුද් හි සත්නට පිහිටව සිටි බැවින් දීප නම් යෙත්’ (06) යනුවෙන් බව සිහි කිරීම මෙහිදී වැදගත් වනු ඇත.

බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී යක්ෂයන් ගිරි දිවයිනට පලවා හැරීම පිළිබඳ පුවතක් වංසකතාවන්හි විස්තර කෙරේ (ම. ව. i:30). මහාවංසය හා මහාවංස ටීකාව ගිරි දිවයින, මේ දිවයිනෙන් ගිණිකොන දිග් භාගයෙන් රම්‍ය වූ ගිරිදීප නම් දිවයින යනුවෙන් විග්‍රහ කර තිබීමෙන් ද, යකුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුනට සුදුසු ගිරි දිවයින මෙහි ගෙනවුත් ඔවුන් එහි පිවිස අස්වැසිලි ලද කල්හි එම දිවයින තිබූ තන්හිම පිහිටු වී යැ යි කියා තිබීමෙන් දxi  එය වෙනම භූ ප්‍රදේශයක් ලෙස පෙන්වීමට උත්සහ කර ඇතත් වර්තමාන පර්යේෂකයන් ඇතැමෙක් එය පැහැදිලි භූගෝලීය ප්‍රකාශනයක් ලෙස සැලකීමට පෙළඹී සිටිති. සිය මහාවංස සංස්කරණයේදී ගෛගර් පෙන්වා දුන්නේ ‘ගිරිදීප’ යන්නෙන් දිවයින අභ්‍යන්තර උස්බිම් ඇඟවෙන බවයි (1912:04).xii  පසුකාලීන සම්ප්‍රදායයන් ‘දීප’ යන්නෙන් දූපතක් අදහස් කරනා නමුත් අතීතයේදී එය ඊට වඩා පුළුල් භාවිතයක් වූ බව ද ගෛගර්ගේ අදහස විය (ibid 1912:04). මේ අදහස යක්ෂයන් යනුවෙන් හඳුන්වන ලද්දේ ආදිවාසී වැදි ජනතාවගේ පූර්වීයයන් ය යන පිළිගැනීමත් සමග ශක්තිමත් ලෙස බැඳී පවතී. හෙන්රි පාකර් ‘ගිරි දිවයින’ යන්නෙන් කඳුකර කලාපය හෙවත් මලය දේශය අර්ථවත් වන බව පිළිගත් වෙනත් පර්යේෂකයෙකි (බලන්න, පාකර් 2008:21).

සහස්සවත්ථුවේ දුටඨගාමණීරඤෙඤා වතථුවෙහි එක් රාජ්‍යයක් බිහි කිරීමට දෙතිස් දෙමලුන් දිනනු පිණිස පිටත් වන දුටුගැමුණු රජු චිත්තලපබ්බත විහාරයේ සිට දීඝවාපිය දක්වා ගිය ගමනේදී පසු කළ ස්ථානයක් ලෙස ‘කලම්බදීපය’ සඳහන්ව ඇත (104).xiii  එහෙත් මහාවංසයෙහි දැක්වෙන ගමන් මාර්ගයට මෙවැනි ස්ථාන නාමයක් අන්තර්ගත නොවේ. ඊට අනුව දුටුගැමුණුගේ ගමන් මාර්ගය මහාගාම, කප්පුකගාම, කාජරගාම, ගුත්තහාලක, ඛීරගාම, ජවමාලාතිත්ථ, මක්‍ධිමගාම, මහිසදෝණික, ලෝකගල්ල, මහියංගන, අම්බතිත්ථ, ඛේම, කෝටනගර, නාළිසොබ්බ, පේළගාම, වාතමංගන, පුලත්ථිගාම, කළහනගර, විජිතපුර, මණිසූරිය, අරිට්ඨගිරි, ගිරිලක, කාසපබ්බත, රට්ඨමාල පබ්බත, කුලත්ථිවාපි හරහා අනුරාධපුරයට වැටි තිබිණි (25:06-50, කල්‍යාණවංස හිමි 1967:සිතියම් අංක 24). සහස්සවත්ථුවේ කියැවෙන සිතුල්පවුවේ සිට දීඝවාපිය තෙක් වූ මාර්ගය ගිණිකොනදිග ගොඩබිම් මාර්ගයක් වූ බැවින් ඊට ආසන්නව හෝ  වෙරළාශ්‍රිතව හෝ කලම්බදීප නමින් වෙන ම දූපතක් හෙවත් දිවයිනක් පිහිටා නැති බව පෙනී යා යුතු ය. එබැවින් කලම්බදීප නමින් දැක්වෙන ස්ථානය නැගෙනහිර තැනිතලා භූමියෙන් මතුව පිහිටි උස්බිමක් වන්නට වැඩි ඉඩ අවකාශයක් පවතී. ‘කලම්බ’ යන්නෙන් අදහස් වනුයේ rubiaceae කුලයට අයත් කොලොම් ගස –Adina cordifolia (Roxb) Brandis– යි. එය ප්‍රාකෘත බසින් ‘කලංබ’ හා සංස්කෘත බසින් ‘කදම්බ’ ලෙස පෙනී සිටියි (කීර්තිසිංහ 1994:3123). එබැවින් කොලොම් ගස් බහුලව ව්‍යාප්තව පැවැති ප්‍රදේශයක් කලම්බදීප නමින් හැඳින්වෙන්නට ඉඩ තිබේ. අද ‘දීප’ යන්නෙන් අදහස් කෙරෙන්නේ රවුමට වතුරෙන් යට වී ගිය දූපතක් ගැන වුවත් අතීතයේදී යම් යම් කඳු, වනාන්තර, ගං හෝ ආදිය නිසා වෙන්ව පැවැති භූමි ප්‍රදේශයකට ද ‘දීප’ යනුවෙන් ව්‍යවහාර වී ඇති බව පේමරතන හිමියන්ගේ ද අදහසයි (—-:07). එය එසේ විය හැකි නම් රජගල ලිපියේ එන ‘දිප’ යන්න ‘දිවයින’ යන අර්ථයෙන් භාවිත නොවී ය යන අදහසකට ඉන් පිටුබලයක් සැලසෙයි.

සීහලවත්ථුලප්පකරණයේ සාලිකුමාරවත්ථුවේ ආරම්භයේදී ම ‘අරියවරදීපෙ අනුරාධපුරෙ’xiv  නම් යෙදුමක් හමු වෙයි (26). එය ‘ආර්යයන්ට වාසස්ථාන වූ අනුරාධපුරයෙහි’ යනුවෙන් පරිවර්තනය කිරීමට පිළිවන. ඉන් පෙනෙනුයේ මෙහි ‘දීප’ යන්නෙන් අදහස් වූයේ දූපතක් නොව වාසස්ථාන ප්‍රදේශය යන අර්ථය බවයි.

විභංගට්ඨකතාව වන සම්මෝහවිනෝදනියේ එන පුවතක ‘දීපරාජ’ නම් තනතුරක් පිළිබඳ සඳහන්ව ඇති අතර මේ නාමය මීට සියවස් ගණනකට පෙරාතුව මිහින්තලා ලෙන් ලිපියක යෙදී තිබීම ආකර්ෂණීය වූවකි (See, Paranavitana 1970:no.37)අට්ඨකතා පුවතට අනුව සිය පුත් කුමරා ඉපදීමට සිටින අවස්ථාවක රජුගෙන් වරයක් ලද බිසවක් පුත්‍රයා නිසි වයසට පැමිණි පසු එම වරය රජුගෙන් ඉල්ලා සිටියා ය. ඇගේ ඉල්ලීම වූයේ දිවයිනෙහි රජකමයි. එහෙත් කුමරුවා අංගවිකල වූවෙක් බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ රජු බිසවගේ දැඩි ඉල්ලීම හමුවෙහි සමස්ත ලංකාදීපයේ රජකම වෙනුවට නාගදීපයේ රජකම පැවරී ය. එබැවින් ඔහුට ‘දීපරාජ’ යන නම ලැබිණි (S. V. 444) xv ‘දිපරජ’ යන්නට ‘දූපත් රජු’ මෙන් ම ‘ප්‍රදේශ රජු’ යන අර්ථ ද ගැබ් වේ (රණවැල්ල 2004:137).  මෙහිදී නාගදීප යනුවෙන් අදහස් වන පාලන ප්‍රදේශය නූතන නාගදීප යනුවෙන් හැඳින්වෙන දිවයින පමණක් නොව සමස්ත යාපන අර්ධද්වීපය ම නියෝජනය වන බව බොහෝ වියතුන් විසින් පෙන්වා දී තිබේ (සිරිසෝම 1986:11, ගුණවර්ධන 2007:117, මේධානන්ද හිමි 2010:166). වල්ලිපුරම් රන්පත් ලිපිය අනුව (Paranavitana 1983:80, no.53) නාගදීප අනන්‍යතාව වඩාත් නිශ්චය කර ඇති බැවින් ඒ පිළිබඳ කිසිදු සැකයක් නැත.

ක්‍රි. ව. පළමුවන සියවසෙහි රජ පත් මහාදාඨික මහානාග රජු විසින් කරවන ලද විහාර අතර ‘පාසාණදීපක’ නම් ස්ථානයේ කරවූ විහාරයක් ගැන ද කියැවේ (ම. ව. xxxiv:91). මේ ප්‍රදේශය ‘පහණදිවු’, ‘පහණව දනව්ව’ යන නමින් පැරැණි ලේඛනවල දැක්වෙන අතර ‘පහණදිවු’ එනම් ‘ගල් රට’ යනුවෙන් එදා හැඳින්වූ නම පහණව යනුවෙන් සෙල්ලිපියක සඳහන් ය (සේනාධීර 1991:79). නිකොලස් පාසාණදීපික විහාරය ලාහුගලින් දකුණේ ඇති දැනට නීලගිරිය නමින් ප්‍රකට විශාල හුදකලා පර්වතය සේ හැඳින ගැනීමට පෙළඹී තිබේ (1979:26). කෙසේ වෙතත් තත් නාමයෙන් ඇඟවෙනුයේ වෙන ම දූපතක් නොව යම් භූමි ප්‍රදේශයක කැපී පෙනෙන පරිදි වෙන්ව දිස්වන කලාපයක් බව පෙනී යාම ප්‍රස්තුතය සම්බන්ධයෙන් වැදගත් වෙයි. පළමුවන අග්ගබෝධි විසින් කරවන ලද ‘භින්නෝරුදීප විහාරය’ හා තුන්වන අග්ගබෝධි විසින් කරවන ලද ‘මහාපානදීප විහාරය’ ආදිය පිහිටියේ ද මෙවැනි ම අනන්‍ය භූමි ප්‍රදේශවල බව යෝජනා කිරීමට ඉන් පිටුබලයක් සැපයේ.

‘මහාවංසය ලියූ මහානාම හිමිපාණෝ’ මැයෙන් රචනා කළ ලිපියක දී බුද්ධගයාවෙන් අනාවරණය කර ගෙන තිබූ අභිලේඛන දෙකක් පරණවිතානගේ අවධානයට ලක්ව තිබේ. අක්ෂරවිද්‍යාත්මකව ක්‍රි. ව. 06-07 සියවස් අතරට අයත් සේ පිළිගැනෙන මෙම ලිපි දෙකෙහි ම මහානාම නම් හිමිවරයෙකුගේ නම දැක්වෙයි. උන්වහන්සේ වජ්‍රාසන විහාරයෙහි ආරාමයක් හා බුද්ධ ප්‍රතිමාවක් කර වූ බව ඒවායේ අන්තර්ගතයට අයත් ය (Karunatilaka 2003:134) එකී මහානාම හිමියන් ආම්‍රද්වීපවාසියෙකු බවට තත් ලේඛනවලින් සැපයෙන තොරතුර සලකා බලමින් පරණවිතාන යෝජනා කළේ ‘ආම්‍රද්වීපය’ බෝධි මණ්ඩලය අසල ම පිහිටි ප්‍රදේශයක් බවයි (1967:203). සිය අදහස සනාථ කිරීම පිණිස, කුඹුරුවලින් වට වී, ජලනයනයෙන් තොරව පවත්නා උස්බිම්වල නම්වල කොටසක් හැටියට ද්වීප යන්න බෙහෙවින් යොදනු ලබන බව පෙන්වා දීමට හෙතෙම උත්සුක විය (බලන්න, එම 1967:202). එහෙත් අනෙක් අතින් මේ අදහස රජගල ලිපියේ දැක්වෙන දිප සමග ගළපා බැලීමට ඔහු පෙළඹුණු බවක් නොපෙනේ.

දේශපාලනික කුමන්ත්‍රණයක් මගින් විජයකුමාර රජුව ඝාතනය කොට රජ වූ සංඝතිස්ස (ක්‍රි. ව. 247-251) ලම්බකර්ණ වංශිකයෙකි. ඔහුගේ පාලනය අවසන් වූයේ ද ජනතාව විසින් වස යොදන ලද දඹ අනුභව කිරීමෙනැ යි වංසකතාව කියයි (ම. ව. 36:71).xvi  මෙවැනි ඉරණමකට හෙතෙම මුහුණ දුන්නේ දඹ අනුභව කිරීම පිණිස ‘පාචීනදීපයට’ යාමේ පුරුද්ද එහි වාසීන්ට මහත් පීඩාවක් බවට පත් වූ හෙයිනි. නිකොලස් පාචීනදීපය හඳුනාගෙන ඇත්තේ මහාතිත්ථයෙන් උතුරේ වූ දූපතක් ලෙස ය. එය වර්තමාන දකුණු ඉරනතිවු විය හැකි යැ යි හෙතෙම අනුමාන කර තිබේ (1979:94). එහෙත් මේ අදහස සැක සහිත ය. ‘පාචීන’ යනු නැගෙනහිර යන අදහස දෙන බැවින් එනමින්ම දූපතක් හැඳින්වීම තවදුරටත් සිතා බැලිය යුත්තකි. නිකොලස්ට ද මේ නොගැළපීම නොදැනුනා නොවේ. සිය තර්කය සාධාරණීකරණය කරනු පිණිස, ‘එය අනෙක් දූපත්වලට වඩා නැගෙනහිරින් පිහිටා තිබෙන්නට ඇති බව හැඟෙතැ’ යි කියා ඇත්තේ එබැවිනි (බලන්න, එම 1979:94). කෙසේ වෙතත් අපගේ අදහස නම් නිකොලස්ගේ හඳුනාගැනීමට ශක්තිමත් පදනමක් නොමැති බවයි. මෙම ප්‍රදේශය දූපතක් සමග සම්බන්ධ කරන ලද්දේ ‘දීප’ යන යෙදුම දූපත් අර්ථයෙන් ම ගැනීම නිසා බවට සැක නැත. ලංකාවේ නැගෙනහිර කලාපය පාචීන පස්ස ලෙස හැඳින්වූ බව ප්‍රකට කරුණෙකි. එබැවින් වංසකතාවේ ‘පාචීනදීප’ යනුවෙන් දැක්වෙනුයේ තත් භූ දේශපාලනික කලාපය වීමට ඉඩ තිබේ. ‘පාචිවාසිනො’ (ම. ව. 36:71) යන යෙදුම පැහැදිලිව ම නැගෙනහිරවාසීන් යන අදහසින් යෙදී ඇති බැවින් මේ උපකල්පනය හිතලුවක් වීමට නුපුළුවන. අම්පාර දිශාවට අයත් මාදනකන්ද ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී ලිපියකxvii  ‘පචින බුමිය’ නම් යෙදුමක් දක්නා ලැබේ (මේධානන්ද හිමි 2004:23, ප්‍රියංක 2009:63). ඉන් අදහස් කරන ලද්දේ නැගෙනහිර දේශයයි (මේධානන්ද හිමි 2004:23). මෙම අභිලේඛන සාධකය අනුව පෙනෙනුයේ ක්‍රි. පූ. සමයේ සිට ම නැගෙනහිර කලාපය කැපී පෙනෙන ලෙස වෙන් වූ පරිපාලන කලාපයක් වූ බව යැ යි යෝජනා කළ හැකි තරම් ය. එබැවින් සංඝතිස්සගේ ඝාතනය වුව දඹ කෑමට සම්බන්ධ කොට ඇතත් එය වඩා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු දේශපාලනික ඝට්ටනයක ප්‍රතිඵලයක් වීමට ඇති අවකාශය පටු වූවක් නොවේ.

විස්තෘත කලාපයක් ලෙස සලකා බලන විට පවා නැගෙනහිර කලාපය කැපී පෙනෙන අනන්‍යතාවක් පෙන්නුම් කරයි. විශේෂයෙන් මහවැලි ගඟ සහ ගල් ඔය අතර කලාපය මෙරට ප්‍රාදේශීය පාලන ඒකක ව්‍යාප්තව පැවැති ප්‍රධාන කලාප සතර අතුරෙන් එකකි. කන්දෙගමකන්ද, දිඹුලාගල, හෙනන්නෙගල, කුසලාන්කන්ද, කලුඌඩුපොතාන හා කොල්ලදෙණිය යන මධ්‍යස්ථාන පිහිටා තිබුණේ මෙම භූ දේශපාලනික කලාපයට අයත්ව ය. මේ අතුරින් මුන්දෙනිආරු හා ගල්ඔය අතර අපට ප්‍රස්තුත වන ගිරි ලිපිය සහිත රජගල ක්ෂේත්‍රය ස්ථානගතව තිබෙනු පෙනේ. එබැවින් මෙම කලාපය දීපයක් ලෙස හැඳින්වීමට බෙහෙවින් උචිත පසුබිමක් නිර්මාණයව පවතී.

ආංශුක කලාපයක් ලෙස සැලකුවහොත් රජගල වටා පිහිටි තැනිතලා භූමියෙන් උස්ව නැගෙන මීටර 316ක පමණ උසකින් ඊසාන යුතු, නිරිත දිශානුගතව විහිදී ගිය කඳු වැටියකි. ඒ අනුව එකී පිහිටීම පවා ‘දීප’ යන නම ලැබීමට ඖචිත්‍යයෙන් යුතු වෙයි. මේ සියලු කරුණු අනුව යෝජනා කළ හැක්කේ රජගල පර්වත ලිපියෙහි ‘ඉම දිප’ යනුවෙන් අදහස් කෙරෙනුයේ සමස්ත ලංකාද්වීපය නොව නැගෙනහිර කලාපය හෝ රජගල ආශ්‍රිත තදාසන්න ප්‍රදේශය විය හැකි බව ය. මීට ඉහත ද දැක් වූ පරිදි ප්‍රථම ධර්මදූතයන්ගේ දශක ගණනාවක ක්‍රියාකාරීත්වය දැන ගැනීමට මූලාශ්‍රගත සාධක මගින් පිටුබලයක් නොදෙන නමුත් ඔවුන් සංඝ සමාජයේ වර්ධනය පිණිස දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විසිර කටයුතු කරන්නට ඇත. ඒ අනුව ඒ වන විටත් දේශපාලනික හා ආර්ථික වශයෙන් වැදගත් කලාපයක් බවට පත්ව තිබූ නැගෙනහිර කලාපයේ කටයුතු ඉට්ඨිය තෙරුන්ට පැවරීම නොසිදුවිය හැක්කක් නොවේ. දීර්ඝ කාලයක් එකී සමාජ ආගමික කටයුතුවල යෙදීමේ හේතුවෙන් ජනතාව අතර උන්වහන්සේට හිමිව තිබූ ගෞරවය, උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ස්තූපයක් කරවා ඒ බව කෘතවේදීව සටහන් කිරීමෙන් ම පෙන්නුම් කෙරේ. මේ අවස්ථාවේදී උන්වහන්සේගේ නායකයා වූ මිහිඳු හිමිගේ ධාතූන් ද ඒ සමග තැන්පත් කිරීම තත්කාලීනව මහත් අවධානයට ලක් වූ සංස්කෘතික ආගමනයේ ස්මරණය හා බැඳී පවතී. ස්තූපය කරවීමේ ප්‍රමුඛ අරමුණ ඉට්ඨිය තෙරුන් හා සම්බන්ධ වන බැවින් උන්වහන්සේගේ නම මූලික කොට දැක්වීමට මේ පාචීනවාසීන් උත්සුක වීම කිසිසේත් පුදුමයට හෝ සැකයට කරුණක් නොවේ.

ඉහත සාධක මත රජගල පර්වත ලිපිය ප්‍රධාන වශයෙන් ඉට්ඨිය තෙරුන් අනුස්මරණය කිරීම අරමුණු කරගත් සංසිද්ධියක වාර්තාකරණයක් බවත්, උන්වහන්සේගේ ප්‍රාදේශීය සේවාව එහි ඇගයීමට ලක්ව ඇති බවත් පෙන්වා දීමට පිළිවන.

අන්ත ලිපි

i  ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවීම මැයෙන් සැපයූ ලිපියකදී මහාචාර්ය රෝහණධීර රජගල පර්වත ලිපිය ක්‍රි. ව. පළමුවන සියවසට අයත් බව කියා ඇතත් අක්ෂරවිද්‍යාත්මකව එය එතරම් මෑත කාලයකට අන්තර්ග්‍රහණය කිරීමට අපහසු ය.

ii  වර්තමානයේ රජගල නමින් හැඳින්වෙන මෙම විහාර ක්ෂේත්‍රය ක්‍රි. ව. 01/02 සියවස් අතරට අයත් රජගල B ලිපියෙහි ‘කුබලවි තිස පවත’ යනුවෙන් ද, ක්‍රි. ව. 02 වන සියවසට අයත් බක්කිඇළ අංක 1, 2, 3 හා 4 දරණ ලිපිවල ‘කුබිලවි තිස පවත’ යනුවෙන් ද, ක්‍රි. ව. 2/3 සියවස් අතරට අයත් A දරණ රජගල ලිපියෙහි ‘ගිරිකබල තිසමහ විහර’ යනුවෙන් ද දැක්වෙන අතර එහි ම ක්‍රි. ව. 03 වන සියවසට අයත් අංක 4 දරණ ලිපියෙහි ‘අරිය අකර’ හා ‘කුබලව වෙර’ යන නම්වලින් හඳුන්වා දී තිබේ. එමෙන් ම ක්‍රි. ව. 10 වන සියවසට ආසන්න කාලයක රචනා කරන ලදැ යි සැලකෙන සහස්සවත්ථුප්පකරණයේ දී මේ විහාර සංකීර්ණය උදෙසා යෙදී ඇත්තේ ‘අරියාකර’ හා ‘කුම්භීලතිස්ස පබ්බත’ යන නාමයන් ය. ‘අරියාකර’ යන්නෙහිම සමාන නිරූපණයක් වන ‘ආර්යාකර විහාර’ යන යෙදුම සද්ධර්මාලංකාරයේ හමු වන අතර එම ග්‍රන්ථය ක්‍රි. ව. 14 වන සියවසේදී පමණ රචනා වූවකි.

iii  මෛත්‍රිවර්ධන නම් ලේඛකයෙක් ‘ඉඩික තෙර මහිද තෙරහ’ යන්න ‘වැඩිමහල් ඉඩිකගේ හා වැඩිමහල් මහින්දගේ’ යනුවෙන් තේරුම් කර ඇත (බලන්න, මෛත්‍රිවර්ධන 1998:282). මෙය Elder Idika and the Elder Mahida යන්නේ ඍජු පරිවර්තනයකි. එය එතරම් සුදුසු පරිවර්තනයක් සේ සැලකිය නොහැක. සමස්ත ලිපිය සඳහා පරණවිතානගේ කියවීමට වෙනස් අදහස් ද පවතින බව සිහිකට යුතු ය. එහෙත් මේ වෙනස්කම මතු එන්නේ පටමය ඉදිය යන වචන සම්බන්ධයෙනි. ඒ අනුව ප්‍රථම ඍද්ධියෙන් මෙම දිවයිනට පැමිණි යන අදහස ද යෝජනා කළ හැකි බව කියැවේ (ධම්මවිසුද්ධි හිමි 1995:59). මේධානන්ද හිමි මෙම අදහස පිළිගන්නා බව පෙනේ (බලන්න, 1998:51). එහෙත් පරණවිතාන ඉදිය යන්නට සමෘද්ධිය යන අර්ථය ආරෝපණය කළේ ය (1970:no 468). පුරාවිද්‍යාව භෞතික විද්‍යාවක් වන බැවින් අතීන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය නොසළකා හැරීම පුදුමයක් නොවේ. එහෙත් මේ කරුණ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බොහෝ අමතර සාධක පවතින බව ද විද්වතුන්ගේ අවධානයට ලක්ව ඇත.

 iv උපඩඪධාතුං ගාහෙතවා චෙතියෙ පබබතෙපි ච

සබෙබසු ච විහාරෙසු ථූපෙ කාරෙසි ඛතතියො (ම. ව. xx:46)

v  …මහිද තෙරහ ච භද්‍රසාල තෙරහ ච ඉටික තෙරහ ච උති තෙරහ ච පඨමහ [කර]පිත…

vi …සථෙරො ථෙරෙහි සහ සථෙරො: ඉටඨියතෙථරාදි ථෙරිපරිවාරො ති වුතතං හොති….

vii  මිහිඳු හිමියන් ලක්දිව වැඩම කළාහු උපසම්පදාවෙන් දොළොස්වන වියෙහි හෙවත් උපතින් දෙතිස්වන වියෙහි දී ය. උන්වහන්සේ පිරිනිවියේ අසූවන වියෙහි දී බැවින් මෙහි ගත කළ කාලය වසර හතළිස් අටකි. දීපවංසයේ මතු දැක්වෙන ගාථාව පැණෙයි.

තිසසසස ච අභිසිතෙත සතතමාසෙ අනූනකෙ

මහිනෙදා දවාදසවසෙස ජමබුදීපා ඉධාගතා (12:39).

සිය දීපවංස සංස්කරණයේදී කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් මේ ගාථාව පරිවර්තනය කර ඇත්තේ, දෙවනපෑතිස් රජුගේ රාජ්‍යාභිෂේකයෙන් දොළොස් වර්ෂයක් හා සත්මසක් සම්පූර්ණ වූ කල්හි මිහිඳු මහ තෙරණුවෝ දඹදිවින් නික්ම මේ ලක්දිව්හි වැඩි සේක (190) යනුවෙනි. මේ වර්ෂ ප්‍රමාණ දැක්වීම සදොස් ය. එය තිස්සගේ අභිෂේකයෙන් සත්මසක් සම්පූර්ණ වූ කල්හි දොළොස්වසක් වූ මිහිඳු තෙරණුවෝ දඹදිවින් මෙහි වැඩියහ යනුවෙන් නිවැරැදි විය යුතු ය. සත්මාසය තිස්සගේ අභිෂේකයෙනි. දොළොස්වස මිහිඳු තෙරුන්ගේ උපසම්පදාවෙනි.

viii  …තංබපංණිදීප පසාදකානං ථෙරියානං තංබපංණකානං සුපරිගහෙ….

 ix නගගදීපොති ඤායිතථ කුමාරොකකනත දීපකො

භරියොකකනතදීපොතු මහිනදදීපකො ඉති

 x බටහිර ඉන්දීය වරායක් වූ භාරුකච්චය පිළිබඳ ක්‍රි. ව. පළමුවන සියවසට පමණ අයත් භගවා ලෙණ ලිපියෙහි සඳහන්ව තිබේ (Paranavitana 1970:no.1183) එහි දැක්වෙන බරුකචග යන්නෙන් ලිපියේ දායකයා වූ මල භාරුකච්ඡයට යාත්‍රා කළ නාවිකයෙකු බව පරණවිතාන තීරණය කළේ ය (ibid 1970:xcix). රුහුණෙන් සොයාගන්නා ලද, කාල අවකාශීය වශයෙන් මීට වඩා සියවසකටවත් පැරැණි විය යුතු ලෙන් ලිපියක, එම ලෙණෙහි නම ශුපරකෙ ලෙස සටහන්ව ඇතැ යි මේධානන්ද හිමියෝ කියති (1998:49). ඉන් සුප්පාරක යන නාමය ගම්‍ය කෙරෙයි. එබැවින් ක්‍රි. පූ. සමයේ සිට ම මෙරට වැසියෝ ඇතැමෙක් බටහිර ඉන්දීය වරාය පිළිබඳ අවබෝධයකින් පසු වූ බවත්, ඒවා සමග සබඳතා පවත්වා ගන්නට ඇති බවත් අනුමාන කිරීමට පිළිවන.

xi ගිරිදීපං තතො නාථො රමමං තෙසං ඉධා’නයී

තෙසු තතථ පවිටෙඨසු යථාඨානෙ ඨපෙසි ච

xii මහාචාර්ය මීගස්කුඹුර මහාවංසයේ දැක්වෙන ගිරිදීපය ‘ගිරි පෙදෙස’ යන අර්ථයෙන් සලකා තිබීම ද මේ සම්බන්ධයෙන් සිහිකටයුතු ය. සිරිලක වැදිජන පුරාණය නම් කෘතියේ දී ඔහු දක්වා ඇති පහත අදහසින් ඒ බව සනාථ වේ.

“…වැද්දන් තලාවල විසූවන්ට වඩා ගිරිවාසීන් වූ බව මහාවංශයේ සඳහන් පරිදි යකුන් ගිරි දිවයිනට පළවා හැරීම පිළිබඳ පුරාණෝක්තියෙන් ද පැහැදිලි වෙයි. මින් අදහස් වන්නේ ඔවුන් එසේ බලයෙන් පදිංචි කරවීම නොව ඔවුන්ගේ වාසයට සුදුසු ‘ගිරිපෙදෙස’ ඔවුන් සඳහා වෙන් කළ බව විය යුතු ය….”(1995:61).

xiii  …චිතතලපබබතවිහාරං ගනතවා මහාදානං දතවා භිකඛු සංඝං වනදිතවා තතො නිකඛමිතවා කුබබනතගාමං ගනතවා තතො කලමබදීපං ගනතවා තතො දීඝවාපිං ගනතවා….

xiv  …අරියවරදීපෙ අනුරාධපුරෙ අඤඤතරො කමමාරකමෙම ඡෙකො කමමනෙත විසාරදො ජාතො….

xv …දේවි, තව පුතෙතා අංගවිකලො, න සකකා තසස රජජං දාතුං ති. තුමෙහ මයිහං රුචචනකවරං දාතුං අසකෙකානතා කසමා වරං අදතථා තිරෑ රාජා අතිවිය නිපපිළියමානො: න සකකා තුයහං පුතතසස සකල ලංකාදීපෙ රජජං දාතුං, නාගදීපෙ පන චතතං උසසාපෙතවා වසතූ ති නාගදීපං පෙසෙසි. සො දීපරාජා නාම අහොසි….

xvi සො අනතරනතරෙ රාජා ජමබුපකකානි ඛාදිතුං

සහොරොධො සහාමචෙචා අගා පාචීනදීපකං

උපද්දුතසස ගමනෙ මනුසසා පාචිවාසිනො

විසං ඵලෙසුං යොජෙසුං රාජභොජසස ජමබුයා

xvii දමරඣ පුත මහතිශ අයශ ක්‍ධිත අබිශවෙරය රඣ මතය පචින බුමිය මහශුදශන නම ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ නියතෙ

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

කීර්තිසිංහ, එච්. 1994. කොලොම්, සිංහල විශ්ව කෝෂය (08 කාණ්ඩය), කේ. එන්. ඕ. ධර්මදාස හා තවත් අය, සංස්කෘතික දෙපාර්තමේන්තුව: රජයේ මුද්‍රණාලය, පි. 228-229.

ගම්ලත්, එස්. 2009. ඉංගිරිසි සිංහල ශබ්ද කෝෂය, නුගේගොඩ: සංහිඳ මුද්‍රණ සහ ප්‍රකාශන.

ගුණවර්ධන, ආර්. ඒ. එල්. එච්. 2007. රාජ්‍යයට පූර්විකාව: පුරාතන ශ්‍රී ලංකාවේ දේශපාලන ආයතනවල විකාශයේ මුල් අදියරක්, උරුමයක ආවර්ජන 1 භාගය, සංස්. ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන සහ තවත් අය, කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල. පි. 91-134.

ගුණසේකර, ඕ. 1965. ශාසනික ප්‍රවෘත්ති, අනුරාධපුර යුගය, සංස්. ඒ. ලියනගමගේ සහ ආර්. ගුණවර්ධන, කැලණිය: විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. පි. 157-182.

දීපවංසය. සංස්. කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1970. කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.

ධම්මවිසුද්ධි හිමි, යටිදොළවත්තේ. 1995. මහින්දාගමනය, අපේ සංස්කෘතික උරුමය (1 වෙළුම), කොළඹ: සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, පි. 57-70.

ධීරානන්ද කල්‍යාණවංස හිමි, කුඩාවැල්ලේ. 1967. ලංකාවේ ඓතිහාසික භූමි සිතුවම්, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.

පරණවිතාන, එස්. 1967. මහාවංසය ලියූ මහානාම හිමිපාණෝ, වීමංසා: යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම උපහාර අංකය, සංස්. සිරි ගුණසිංහ හා තවත් අය, කැලණිය: විද්‍යාලංකාර මුද්‍රණාලය, පි. 185-203.

පාකර්, එච්. 2008. පුරාණ ලංකාව, පරි. එන්. පෙරේරා, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

පෙරේරා, ටී. 2012. ආගම් හා ඇදහිලි ක්‍රම, ශ්‍රී ලාංකේය ඉතිහාසය (1 වෙළුම), කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, පි. 235-256.

පේමරතන හිමි, පරදුව. —-. නියම නාගදීපය, කැලණිය: විද්‍යාලංකාර මුද්‍රණාලය.

ප්‍රියංක, බී. 2009. පැරැණිතම බ්‍රාහ්මී සෙල්ලිපිවලින් හෙළිවන රුහුණු රාජ්‍යය, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

මහාවංසො (ඌන පූරණ සහිතො). සංස්. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, 1959, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.

මීගස්කුඹුර, පී. බී. 1995. සිරිලක වැදිජන පුරාණය, කෝට්ටේ: පිනිදිය ප්‍රකාශකයෝ.

මේධානන්ද හිමි, එල්ලාවල. 1998. මහින්දාගමනයට පෙර රෝහණයේ බුදදහම පැතිර තිබුණේ දරෑ, බෞද්ධ සංස්කෘතික ලේඛන (1 වෙළුම), සංස්. සිරි නිස්සංක පෙරේරා, කොළඹ: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පි. 46-52.

මේධානන්ද හිමි, එල්ලාවල. 2004. වලගම්බා මහරජ්ජුරුවෝ, කොළඹ: දයාවංශ ජයකොඩි සහ සමාගම.

මේධානන්ද හිමි, එල්ලාවල. 2006. සිංහළේ මහා රාජවංශෙ, කොළඹ: දයාවංශ ජයකොඩි සහ සමාගම.

මේධානන්ද හිමි, එල්ලාවල. 2008. පාචීන පස්ස, උත්තර පස්ස: නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, කොළඹ: දයාවංශ ජයකොඩ් සහ සමාගම.

මේධානන්ද හිමි, එල්ලාවල. 2010. සෙල්ලිපිවලින් දකින අපේ උරුමය, හෝමාගම: සෙනෙවිරත්න ප්‍රින්ටර්ස්.

මෛත්‍රිවර්ධන, ජී. 1998. දේවානම්පිය උත්තිය රජ දවස මිහිඳු මාහිමියෝ වැඩම කළහ: මහාවංසයේ පුනරුක්ත දෝෂ, බත්තරමුල්ල: සසිකලා මුද්‍රණ ශිල්පියෝ.

රෝහණධීර, එම්. 1994. ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවීම, ශ්‍රී ලංකාවේ ඉතිහාසය (1 කොටස), කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. පි. 62-89.

වංසතථපපකාසිනි. අනු. අකුරටියේ අමරවංස නා හිමි හා හේමචන්ද්‍ර දිසානායක, 2001. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

සමන්තපාසාදිකා විනයට්ඨකථා (1 කොටස), සංස්. අම්බලම්ගොඩ ධම්මකුසල හිමි, 2009. දෙහිවල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සහස්සවත්ථුප්පකරණං. සංස්. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, 1959. මරදාන: අනුල මුද්‍රණාලය.

සිරිසෝම, එම්. එච්. 1986. උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

සිරිසෝම, ඇම්. එච්. 1990. ශ්‍රී ලංකාවේ පැරැණි බ්‍රාහ්මී සෙල්ලිපි: ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 65 දක්වා, අභිලේඛන, සංස්. එන්. විජේසේකර, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. පි. 03-55.

සිංහල ශබ්දකෝෂය (07 කාණ්ඩය). 1983. ඩී. ඊ. හෙට්ටිආරච්චි සහ තවත් අය, කොළඹ: සංස්කෘතික අමාත්‍යාංශය.

සිංහල ශබ්දකෝෂය (11 කාණ්ඩය). 1985. පී. බී. සන්නස්ගල සහ තවත් අය, කොළඹ: සංස්කෘතික අමාත්‍යාංශය.

සීහළවතථුපපකරණං. සංස්. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, 1959, කොළඹ: රත්න පොත් ප්‍රකාශකයෝ.

සෝමතිලක, එම්. 2008. මහින්දාගමනය සහ එහි ඓතිහාසික පදනම, පැහැසර: මහාචාර්ය පී. බී. මීගස්කුඹුර උපහාර ලිපි සංග්‍රහය, සංස්. එල්. නුගපිටිය සහ තවත් අය, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පි. 442-465.

Buddhadatta Maha thera, Polwatte. 1968. Concise Pali-English Dictionary, Colombo: The Colombo Apothecaries Co.LTD.

Dias, M. 1972. Epigraphical Notes, No.07, Colombo: Department of Archaeology.

Dias, M. 2001. The growth of Buddhist monastic institutions in Sri Lanka from Brahmi Inscriptions, Epigraphia Zeylanica, Vol. viii, Colombo: Department of Archaeology.

Geiger, W. 1912. The Mahawamsa or the great chronicle of Ceylon, London: Pali Text Society.

Malalasekara, G. 1960. Dictionary of Pali proper names, Vol. i, London: Luzac & Co.ltd.

Panabokke, G. 1993. History of the Buddhist sangha in India and Sri Lanka, University of Kelaniya: The Postgraduate Institute of Pali and Buddhist Studies.

Paranavitana, S. 1962. An Inscription of Circa 200 B.C. at Rajagala Commemorating Saint Mahinda, University of Ceylon Review, Vol.xx, no.02, pp. 159-162.

Paranavitana, S. 1970. Inscriptions of Ceylon, Vol.i, Colombo: Archaeological Survey Department.

Paranavitana” S’ 1983′ Inscriptions of Ceylon, Vol.11,Part 1, Sri Lanka: Department of Archaeology.

Ranawella, S. 2007. Dictionary of Sinhala Epigraphical words, Sri Lanka, Department of Archaeology.

Samantapasadika (Vol. 1). ed. J. Takakusu & M. Nagai, 1924, London: Pali Text Society.

Sammoha Vinodani; Abhidhamma pitake Vibhangatthakatha, ed. Polwatte Buddhadatta thero, 1923, London: Pali Text Society.

Turner, R. L. 1966. A Comparative Dictionary of the Indo-Aryan languages, London: Oxford University press.

Vamsatthappakasini;Commentary on the Mahavamsa, Vol. II,  ed. G. P. Malalasekara, 1935, Armen house: Oxford University Press.

Vogel, J. Ph. 1933. Prakrit inscriptions from a Buddhist site at Nagarjunikonda, Epigraphia Indica, Vol. xx, Delhi: Manager of publications, pp.01-36.

 

දෘෂ්‍ය කලා රසික ඇසකින් ප්‍රේමානිශංස දෙස නැවුම් බැල්මක්

නව පරිණාමීය විකාශන ක්‍රියාවලිය තුළ, සංස්කෘතික මිනිසාගේ මානසික සහ කායික ශ්‍රම දායකත්වය විසින් ඉටු කරනු ලැබූ සාධනීය මෙහෙවර පිළිබඳ  දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමට ඉඟි සපයන ද්‍රව්‍යමය නෂ්ටාවශේෂ වූ මානව කෘතීන් ආශ්‍රයෙන් සිදු කෙරෙන ගවේෂණාත්මක පර්යේෂණාත්මක සහ විද්‍යාත්මක ශාස්ත්‍රීය අධ්‍යයනය පුරාවිද්‍යාව සේ ප්‍රචලිත ය.

ප්‍රේමානිශංස
ප්‍රේමානිශංස

‘ප්‍රේමානිශංස’ කතුවරයා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මාර්ගයෙන් එම විෂය හැදෑරීමෙන් අනතුරුව එයින් ලද අනුප්‍රාණය, මානව සංවේදීතාව සහ යුග-යුගාන්තරව ප්‍රසාරණය වන ජීවන ආශ්වාදය තම කෘතහස්ත ශක්තිය වන ලේඛන කලාව ඔස්සේ පාඨක අන්තර් සම්බන්ධතාවක් සහිත සංවාදයකට ලක් කිරීම කාලීන අධ්‍යාපනික, ශාස්ත්‍රීය සහ රසාස්වාදනය නම් නව්‍ය දොරටු හැරීමක් ලෙස අපට හැඟී යයි.

මේ සඳහා යතුර කතු අතට ලැබෙන්නේ සේනක බණ්ඩාරනායක මහාචාර්යවරයාගේ අධිපතිත්වය යටතේ පැවති PGIAR වෙතිනි. නූතන විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකේය සාහිත්‍යකරණය සඳහා ගතානුගතිකව විශ්වවිද්‍යාල මගින් සම්මත වූ අධ්‍යාපනික නිර්ණායකයන් නව මානයන් කරා තල්ලූ කෙරෙන අර්ධ ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධනයක් සඳහා සංකලනයක් වූ සාහිත්‍ය කෘතියක් ලෙස චන්ද්‍රරත්න බණ්ඩාරගේ ‘ප්‍රේමානිශංස’ ක්ෂේත්‍රය තුළ ස්ථානගත වන්නේ නවමු අත්දැකීමක් පාඨක ප්‍රජාව වෙත පිරිනමමිනි.

චන්ද්‍රරත්න බණ්ඩාර
චන්ද්‍රරත්න බණ්ඩාර

පුරාවිද්‍යාව යනුවෙන් හැඳින්වෙන මෙම ශාස්ත්‍රීය විෂය පථයෙහි හරය සහ මූලික අවධාරණය වන්නේ මනුෂ්‍ය ජීවිතය හැදෑරීමය. ලේඛකයෙකු එයට ආසක්ත වන්නේ එබැවිනි. ඍජු ලෙසම මෙය පුරාවිද්‍යාව සමඟ බැඳුණු සාහිත්‍ය කෘතියක් නොවුණත් එහි චරිතාත්මයන් හසුරුවන කර්ම ශක්තිය වන්නේ කථකයා වන ‘සයුරු’ සහ ඔහුගේ පෙම්වතිය වන ‘නිරු’ යන දෙදෙනාම බණ්ඩාරනායකයන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉගෙන ගන්නා පුරාවිද්‍යා විද්‍යාර්ථීන් ලෙස එකම ආකල්ප සහිතව ඥාන ගවේෂණයේ යෙදීමයි. එබැවින් මෙම නවකතාව මහාචාර්ය සේනක බණ්ඩාරනායක උතුම් නාමයට පිදීමද උචිත වෙයි. ඔහු වැන්නකු සිටියා නම් මෙම සමාජ ගවේෂණාත්මක නවකතාව එහි පවත්නා ශාස්ත්‍රීය වටිනාකම් අනුව තක්සේරු කොට යම් ආකාරයක විශ්වවිද්‍යාල ඇගයීමකට ලක් කිරීමට පසුබට නොවනු ඇත. ඒ ඔහු මෙහි චරිතයක් වන නිසාම නොවේ. නවීන යුග සමාන්තර ශාස්තෘවරයෙකු, වාස්තු විද්‍යාඥයකු, උපරිම ගණයේ කලා රසිකයෙකු හා කලා විචාරකයෙකු, ඉතාමත්ම නම්‍යශීලී වූ අනාගතවාදී විශ්ව විද්‍යාල ගුරුවරයකු මෙන්ම මානව දයාවෙන් පිරිපුන් මිනිසකු ද වූ නිසාය. පුරාවිද්‍යා ඩිප්ලෝමාවක් හැදෑරූවකු වූ මගේ වෘත්තීය කාලසටහනෙහි ඉඩකඩ කිටි කිටියේ ඇහිරි පැවතීම නිසා සාම්ප්‍රදායික ලිඛිත පර්යේෂණයක් වෙනුවට ඡායාරූප පදනම් කොටගත් නව්‍ය ඉදිරිපත් කිරීම මගේ ඊළඟ පියවර සඳහා කළ හැකි බව යෝජනා කළේ ඔහු අනාගත වාදී නූතන මානවයකු වූ බැවිනි.

කුමාරස්වාමි ආලෝකයෙන් ප්‍රභාමත් වූ ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වත් කුලයට අයත් වන්නා වූ ද ඔහු සක්‍රීය ද්විතීයික චරිතයක් මෙම නවකතාව තුළින් භූමිකා ගතකිරීම ද අතිශයින්ම ආශ්වාදනීය කටයුත්තකි.

නූතන යුගයේ ප්‍රබලතම දේශීය සංස්කෘතික චරිත අතරින් ද අග්‍රේෂ්වරයා ලෙස ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ශාස්ත්‍රීය ලෝකය තුළ බුහුමනට  ලක් වන්නේ ඔහු ලක්බිමට පමණක් සීමා නොවී ජාත්‍යන්තර තලයේ විද්වත් අවකාශයක් පුරා මධ්‍යකාලීන සිංහල කලා ක්ෂේත්‍රය පිළිබඳ මහිමය අභිමානවත්ව විදහා දැක්වීම හේතුකොටගෙනය. එවන් උතුමකු හෘදයාංගම ගරු බුහුමනට ලක් කෙරෙන ආකාරයේ ප්‍රවේශයක් සහිත ව ගෙතුණු ප්‍රේමානිශංස තථා සන්දර්භය සජීවී කරවීම සඳහා නවකතාකරුවා යොදා ගන්නා නිර්මාණ උපායික සැලසුම වන්නේ සත්‍ය ඓතිහාසික චරිතයක් වන කුමාරස්වාමි මත ඔහුගේ මිනිබිරියක ලෙස මනංකල්පිත ව මවාගන්නා නිරු නම් තරුණියයි. කථකයා වන සයුරු විසින් සුවිශේෂී පෞරුෂයක් සහ ගති ලක්ෂණ සහිත ශෝභාසම්පන්න තරුණයකු ලෙස ප්‍රධාන අන් චරිත අතර කේන්ද්‍රීයව භූමිකා ගත කෙරෙන නිරු තම පෙම්වතිය වූ පසු ඇය හා කෙරෙන සංවාදයන්ට ඇතුලත් ජීවන තොරතුරු ඔස්සේ අනුපස්ථිතික චරිත භූමිකාවක් ලෙස කුමාරස්වාමි පාඨක සිත් තුළට පිවිස වන්නේ සියුම් වූත් අනියම් වූත් වක්‍රාකාරයකිනි. නිරු, සයුරු, සොෆියා හෝ අවශේෂ සජීවී දෘශ්‍යමාන චරිත අතර අනුපස්ථිතිකව පිළිඹුවන කුමාරස්වාමි චරිතය යම්තාක් දුරකට ලංවන්නේ ජී බී සේනානායකයන්ගේ ‘වරදත්ත’ නවකථාවෙහි කේන්ද්‍රීය චරිතය අන් අයගේ දෙබස් තුලින් මතුකොට ගැනීමට හෝ ගෝපාල් ක්‍රිෂ්ණන්ගේ පිරවි චිත්‍රපටියෙහි කිසිදු රූප රාමුවක නොදකින අතුරුදන්වූ පුතා පිළිබඳ සිතුවිලි මාත්‍රය වැනි තත්ත්වයකට ය. එය එසේ වීම නිසාම සජීවී මූලික චරිතද්වය අතරට ආත්මීය ඡායා මාත්‍රයක් පමණක් සේ වඩින කුමාරස්වාමි තම මිනිපිරියට ලබා දෙන්නේ ආනුභාව සම්පන්න වූ චරිතමය ගතිකත්වයකි. මෙලෙසින් නොපෙනී- පෙනී සිටින කුමාරස්වාමි හා එතුමන්ගේ සම්භාවනීය පරම්පරාවේ වංශාලංකාර ආභරණ කට්ටලය නිරූගේ මහේශාඛ්‍යභාවය ඔප දැමීමටත් එම ප්‍රභාව ඉදිරියේ ඊට හාත්පසින්ම වෙනස් වූ චූලවංශ උරුමයක් ඇති සයුරු අඟුටුමිටි කොට හීන මානයට පත් කිරීමටත් හේතු වේ. මෙම අදෘශ්‍යමාන බලය නවකතාවෙහි අවසානය දක්වාම රහසක් ලෙසින් මෙන් සැඟවී ගමන් ගන්නේ ගුප්තමය ආකාරයකටය.

මනෝමය වූ මෙම චරිතමය ආනුභාවය නිරූ සහ සයුරු ඔකඳ කරන බාවාත්මක වූත් සෞන්දර්යාත්මක  වූත් මානසික උත්තේජනයක් ලෙසින් පරම සුඛෝත්පාදක රති සම්බෝගයක් දක්වා බලපෑම් එල්ල කරන අතර එහි උච්චතම මොහොත යාපනයේ මනිපායි හි කුමාරස්වාමි උපන් ගෙයි ඔහුගේ ආත්මය සැරිසරන මන්දාලෝකවත් වූ ආලින්ද කාමරයේ දී තීරණාත්මක ආකාරයෙන් තවත් ජීවන හුස්මක් බවට පත්වේ. නොසිතූ නොපැතූ ආකාරයෙන් නිරූ මවක වීමේ රහස දෙදෙනාටම හොරෙන් සැඟවී තිබුණේ එතැන විය හැක.

ප්‍රේමානිශංස හැඩකරන සියළු අංග ප්‍රත්‍යංග දෘෂ්‍යරූපී ව්‍යාකරණාත්මක ආඛ්‍යානයකින් කෘතිය නැරඹීම සඳහා පාඨකයා ද පොළඹවයි. එක් මූලික දෘෂ්‍යරූපී ව්‍යාකරණයක් වන්නේ වර්ණ භාවිතාවයි.

ගෘහ වර්ණ ගැන්වීමේ දී පොදුවේ අනුමත කෙරෙන භාවිතාවක් වන්නේ බිත්ති අවකාෂයට අනුකූලව සායම් කලාප ප්‍රමාණ කරණයකට ලක් කිරීමයි. ඒ අනුව මූලික හෝ ප්‍රධාන වර්ණයකට පරිවාර වූ මධ්‍යම හා තෘතියීක හෙවත් පරිසමාප්ත චූල වර්ණය – Accent effect colour – පරිසමාප්ත වර්ණය සමස්ථ වර්ණ සංයෝජනයේ ජීවය උත්පාදනය කරන වර්ණය බවට ද පත්වේ. මෙම දැක්මෙන් නවකතාව කියවීමේ දී මුඛ්‍යස්ථානය සඳහා තැනින් තැන වරින්වර දෝලනය වන ගතිකත්වයන් වූ ‘සයුරු’ සහ නිරූ නම් ප්‍රධාන චරිත වර්ණ අතරෙහි ජීව ශක්ති උත්පාදිත හැරවුම් චරිතයක් ලෙස සොෆියා වර්ණ ගැන්වේ. කතාවේ තීව්‍ර රස කාරකය ඇයයි.

සමස්ත නවකතාව හැඩයෙහි තීව්‍ර අලංකරණ අගයක් ලෙස භූමිකා ගත කෙරෙන සොෆියා තවත් ආකාරයකින් ද දැකගත හැකි වේ. එනම් සෑයක කොත්කැරැල්ල ආකාරයෙනි. ඒ ආගමික අරුතින් නොවේ වාස්තු විද්‍යාත්මක විශ්ලේෂණයක් ලෙසිනි.

පේසා වළලු වලටත් යටින් සෑයේ උසටම සරිලන ගැඹුරට දැමූ ස්ථාවර අත්තිවාරම ආනන්ද කුමාරස්වාමි ය. ගර්භාෂය නිරූ සහ සයුරු නියෝජනය කරයි. දේවතා කොටුව දෙමව්පියන් සහ උතුම් කළණ මිතුරකු බවට පත්වන කෙවින් සඳහා වෙන් කෙරේ. අති විචිත්‍රවත් ආකර්ෂණීය මස්තකය සොෆියා ය.

කොත්කැරැල්ලකින් තොරව ද මුලික චෛත්‍යයක් නිර්මාණය විය හැක. මුල් මිරිසවැටිය එවැන්නකි. එහෙත් චෛත්‍යයක පරිසමාප්ත අගතැන් ලකුණ කොත්කැරැල්ල වේ. ‘ප්‍රේමානිශංසය’ සොෆියා ඇතුලටම ගැනීමෙන් තොරව වුවද දළවශයෙන් වියා ගත හැකිව තිබුණි. එහෙත් සොෆියාගෙන්  තොර ප්‍රේමානිශංසය කොත් කැරැල්ලකින් තොර දාගැබකි. පුරාවිද්‍යාත්මක නැඹුරුවකින් යුතු දෘශ්‍ය කලා ඇසකින් ප්‍රේමානිශංසයට අදාල චරිත ව්‍යුහමය සැකසුම පිරික්සන විට පෙනෙන තවත් ඉතා දෘශ්‍ය රසාත්මක සාධකයක් වන්නේ ‘ප්‍රතිමා ප්‍රමාණකරණය’ නම් වූ සාම්ප්‍රදායික ප්‍රතිමා නිර්මාණ කලාව සහ ඊට අයත් වාස්තු විද්‍යාවයි.

පුරාතන සාම්ප්‍රදායික ප්‍රතිමා කලාව ගණිතය පදනම් වූ මිණුම් ක්‍රමයක් ඉතා නිරවද්‍ය ලෙස අනුගමනය කළ ශාස්ත්‍රයකි. ඒ අනුව ප්‍රතිමාවන්ට අදාල පුද්ගල චරිතයන්ගේ වටිනාකම් අනුව  ඒවා ‘තාල’ ක්‍රමයෙන් ගණනය කෙරේ. එම භාවිතයේදී අසමසම අනන්ත ගුණ පිරි බුදුරජුන් ‘දස තාල’ වන අතර අවලෝකිතේශ්වර ආදී වූ බෝධි සත්ව ප්‍රතිමා ‘නව තාල’ ලෙස සැලකිණි. තාල යනු හිසෙහි උසය. මෙවැනි චරිතමය භූමිකා ප්‍රමාණකරණයක් ප්‍රේමානිශංස වියමන තුළ භාවිතා වී ඇත්තේ නිරායාස වූ තාත්විකත්වයෙනි. මේ නිසා සමස්ත කතාවට අදාල වූ හිස සහ ශරීරය මනා ප්‍රධාන ගැලපීම මගින් යුතුව සමබර වී තිබීම ප්‍රශස්ත ලක්ෂණයකි.

තදින් සිත් කාවදින මෙම නව්‍යමය දෘෂ්‍යරූපික වූ සාහිත්‍යය වියමනෙහි ඒකරාශී කොට පාඨකයා වෙත පිරිනැමෙන අමිල වටිනාකමකින් යුතු සාධනීය මානව සාරමය වූ මනෝභාරය වන්නේ උපේක්ෂාව යන බ්‍රහ්මවිහාරී ගුණයයි. එය සාක්ෂාත් කර ගැනීමේ දී කතුවරයා විසින් වාග් යාන්ත්‍රණමය සැලසුමක් භාවිතා කරනු ලබයි. එනම් සන්දර්භමය චරිත සම්පිණ්ඩනයට අනුව ඒවාට නෛසර්ගිකව අයිති වන්නාවූ භූමිකා ස්ථානයන්ට අනුකූල ව ගොඩනගන සැලසුම් ආකෘතියයි. එය පිරමීඩාකාර වේ. එහෙත් එය ස්ථාවර පිරමිඩයක් නොවේ. මුදුනෙහි සිටින චරිතය යම් තැනකදී ස්ථාන මාරුවකට පත්වන බැවින් ඒ සඳහා ප්‍රධාන චරිතද්වය වන සහ නිරු අතර අඛණ්ඩ වූ ද්විඝටනාත්මක දෝලනයක් පවතී.

සාමාන්‍ය නව කථා රීතියට අනුව කථකයා කතාව දිග හරින්නා බැවින් හා පොතේ ගුරා වන බැවින් පාඨකයා සානුකම්පිත ලෙස තමා වෙත නතු කරගන්නා දෘශ්ටිමය ආධිපත්‍යයක් පවත්වා ගැනීම වැළැක්විය හැකි නොවේ. එහෙත් මෙම කෘතිය තුළ ප්‍රකාශිත ආත්මකථනමය විනිවිද භාවය හේතුවෙන් උත්තම පුරුෂය මත වැජඹෙන අධිපති චරිතය නිරපේක්ෂක නොවේ. එය මුල සිට අග දක්වාම සිය සහකාරිකා චරිතය වූ නිරූ නම් පෙම්වතියට සාපේක්ෂ ලෙස චලනය වේ. තම මඟ පාගාගෙන හිස ඔසවන බැවින් සමාජගත ව පවත්නා ගතානුගතික වටිනාකම අනුව සයුරු නම් කථකයා සංස්කෘතික නිර්දනයකු ලෙසත් නිරු මහා සංස්කෘතික උරුමයක තේජසින් බැබළෙන උත්තම චරිතයක් බවටත් පත්කොට හීන මානයට පත් වන්නේ සිය චරිතමය පෞරුෂයෙහි වටිනාකම සහ කේන්ද්‍රීය ප්‍රධානත්වය ද පහළට ඇද දමා ගනිමිනි.

දැන දැනත් නිරු තමා වැන්නෙකුට අවංකවම පෙම් බැඳීම ද සයුරුට සිතට වදයකි. අප්‍රකාශිත සැකයකි. යම් හෝ මොහොතක බිඳී ගිය හැකි අවිනිශ්චිතතාවය කි. මේ මානසික ආතතිය ඔස්සේ රචකයා වන ඔහු ම විසින් පාඨකයා වෙත ප්‍රක්ෂේපණය කරනු ලබන චරිත සංසන්දනය අනුව නිරූ zoom in යන ලං කර පෙන්වීමේ සිනමා මායාකාරී රූපයෙන් වඩා සමීපව විශාලත්වයෙන් වැඩි වේ. ලෛස බලන විට පෞරුෂ පිරමීඩයේ කථකයා වූ සහ එහි ප්‍රභූ පෙලගැස්ම තුළ අධිපතියා වූ සයුරු සිටි ස්ථානයට නිරු ඔසවා තැබේ.

නිරු තම නවාතැන් අතුරුදන් වූ මොහොතේ සිටම ඇතිවන පෞරුෂය බෙලහීනතාව තමන් උත්සන්න කරවන සාධකය වන්නේ ඔහු මනා ආත්ම කම්පාවට ලක්ව සිටියත් ඇය එය ගණන් නොගෙන සිය මව ද සමග භූමියම කම්පාවී නාය යන කේදර්නාථයෙහි වන්දනා ගමනක් යාමට තරම් හිත සැහැල්ලු කරගෙන සිටීමයි. ඇය වීරවරියකට සුදුසු තරමේ දැඩි සිතක් ඇත්තියක වී ඇය නැතිව හුස්ම පොදක් වත් නොගෙන නොකා නොබී වැනසෙන දුබලයකු තරමට කථකයා හීන පෞර්ශයක් ඇත්තෙකු ලෙසටත් පාපෝච්චාරණාත්මක විනිවිදභාවයෙන් වියමන් වනවිට සයුරු, නිරු සහ අතරමගදී මුණගැසෙන සොෆියා ද ප්‍රබල වූ චරිතමය හා පෞරුෂමය වෙනස්කම් වලින් තොර වූ මසින් ලෙයින් හදවතින් හැදුනු සාමාන්‍ය ‘කවුරුත්’ වැන්නෝ  බවට පත්වෙති. ප්‍රභූත්ව පිරමීඩය බිදී ප්‍රධාන චරිත ත්‍රිත්වයම එක පෙළට සිට ගන්නේ එකම උසස් පෙන්වමිනි. පිය පුතු ගැටුම සමහන් වේ. ජීවිතය සන්සුන් වේ. තිරය වැසේ. පුද්ගල කේන්ද්‍රීය විවේචනාත්මක පාණ්ඩිත්වයෙන් තොරව මනුෂ්‍ය ස්වභාවය දෙස පොදු ඇසකින් බලන්නට තියුණු ඇසක් සහ නිවුණු හදක් පිරිනැමීම පුරාවිද්‍යාවේත්  සාහිත්‍යයේත් උතුම් හරයයි.

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණයක් ලෙස පෙන්වා දිය හැක. නවීන මානවයාගේ යුගය ලෙස සැළකෙන  පෘථිවි ඉතිහාසයේ ප්ලයිස්ටෝසීන යුගයේ අගභාගයේ සිට හොලෝසීන යුගයේ මැදභාගය දක්වා කාල පරාසයට අයත් නවීන මානව පරපුරේ වැදගත් ජනාවාස සාධක මෙම ස්ථානය ආශ්‍රිතව නිරීක්ෂණය කළ හැක.  භූගෝලීය වශයෙන් මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ E නම් පරිසර කලාපයේ,  එනම් උස්බිම් අතරමැදි වියළි කලාපයේ පිහිටා ඇත. මෙම කලාපයේ සුවිශේෂී පාරිසරික ලක්ෂණයක් ලෙස වියළි පතන තෘණ භූමි හඳුනාගත  හැක. මෙම තෘණභූමි සහිත කඳු මුදුන් සහ කඳුබෑවුම් ආශ්‍රිතව ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස ස්ථාන විශාල සංඛ්‍යාවක් මෙතෙක් කර ඇති ගවේශණ මඟින් අනාවරණය කරගෙන ඇත.  මේ අතුරින් පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුතු ප්‍රමුඛතම ස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල- වැලිමඩ මාර්ගයේ වර්තමාන ඇන්ග්ලිකානු දේවස්ථානයට යාබදව පිහිටි කඳුමුදුන් හා කුඩා නිම්න ආශ්‍රිතවයි.දකුණු ආසියාවේ ජීවත් වූ නවීන මානවයාගේ සංස්කෘතිය දැනට  ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ලෙන් ආශ්‍රයෙන් මෙන්ම මෙම කලාපය ආශ්‍රයෙන්ද හඳුනාගත හැක.ශ්‍රී ලංකාවේ මධ්‍ය කදුකරය ආශ්‍රයෙන් නිරීක්ෂණය වන මෙම  සංස්කෘතිය හඳුන්වන්නේ බණ්ඩාරවෙල සංස්කෘතිය (බලංගොඩ සංස්කෘතිය) නමිනි. ඒ අනුව බණ්ඩාරවෙල සංස්කෘතියේ සලකුණු තවදුරටත් හෙළිදරවු කර ගැනීම සඳහා ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් පැවැත්වූ කලාපයක් වන මෙම පල්ලිය කන්ද නම් ස්ථානය, නවීන මානවයගේ සංස්කෘතිය බිහිවීම (ප්‍රාග් ඓතිහාසික) පිළිබඳ ප්‍රධාන උරුම ස්ථානයක් බවට හඳුනාගත හැක.

පර්යේෂණ ඉතිහාසය

පල්ලිය කන්ද නම් මෙම ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික වැදගත්කම මුලින්ම හඳුනා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හා මානව විද්‍යාවේ අධ්‍යයනය සඳහා මෙරටට පැමිණි ස්විට්සර්ලන්ත ජාතික ඥාති සොහොයුරන් දෙදෙනකු වූ ෆ්‍රිට්ස් හා පෝල් සරසින් යන මානව විද්‍යාඥයන් දෙදෙනා ය. මොවුන් විසින් 1908 වර්ෂයේදී මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් වශයෙන් හඳුනා ගත් අතර වර්තමාන ඇංග්ලිකානු පල්ලිය අවට කලාපයේ කඳුමුදුන් හා බෑවුම් ගවේෂණය කොට වැදගත් ශිලා මෙවලම් එක්රැස් කරන ලදී. ඉන් අනතුරුව එම වර්ෂයේදීම ශ්‍රී ලංකාවේ මානවවංශ තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා මෙරටට පැමිණි සී.ජී. හා බී.එල්. සෙලිග්මාන් යුවළ මෙම ස්ථානයේ පුරාවිද්‍යා ගවේෂණය කොට ශිලා මෙවලම් අධ්‍යනය කර ඇත.

සරසින් සහෝදරයෝ
සරසින් සහෝදරයෝ
චාල්ස් හාර්ට්ලි
චාල්ස් හාර්ට්ලි
Credit: https://royalcollege.lk/history/founders-headmasters-and-principals/

1913-1914 අතර කාලයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති වූ චාල්ස් හාට්ලේ යටතේ බණ්ඩාරවෙල ඇංග්ලිකානු පල්ලිය අවට කලාපයේ ප්‍රාග් ඓතිහාසික ගවේෂණය සිදු කර ඇත. මෙම ස්ථානය පදනම් කොට ගෙන සිදු කරන ලද ප්‍රථම ප්‍රාග් ඓතිහාසික කැණීම සිදුකරන ලද්දේ මොහු විසිනි.

පිග්මි ද්‍රව්‍යය වගුව (හාර්ට්ලි, 1914)
පිග්මි ද්‍රව්‍යය වගුව (හාර්ට්ලි, 1914)
හමු වු පිග්මි ද්‍රව්‍යවල කටු සටහන් (හාර්ට්ලි, 1914)
හමු වු පිග්මි ද්‍රව්‍යවල කටු සටහන් (හාර්ට්ලි, 1914)

මෙම කැණීමෙන් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් රැසක් මතු කර ගැනීමට හාට්ලේ සමත් විය. මේ ශිලා මෙවලම් පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ගල් යුගය සඳහා වූ ප්‍රථම විධිමත් ගල් ආයුධ විශ්ලේෂණ වර්ගීකරණ ක්‍රමවේදය සකස් කිරීමට ඔහු සමත් විය. ඒවා මුලික වශයෙන් ‘භාවිතා කරන ලද ශිලා මෙවලම්‘ සහ ‘භාවිත නොකළ ශිලා මෙවලම්‘ වශයෙන් වර්ග දෙකක් යටතේ හඳුනා ගන්නා ලදී. ‘භාවිතා කරන ලද ශිලා මෙවලම්‘ අතර සුවිශේෂී වශයෙන් තිරුවානා සහ කහඳ පාෂාණයෙන් නිර්මාණය කරන ලද ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් හඳුනා ගැනිණි.ඔහු විසින් මෙම ආයුධ ‘පිග්මි’(Pigmy) වශයෙන් හඳුනා ගන්නා ලදී.

සැබැවින්ම ‘පිග්මි’ යනුවෙන් වර්තමානයේ අප හඳුන්වන්නේ ‘ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්’ ය.මධ්‍ය ශිලා යුගයේ ලකුණ වශයෙන් සැලකෙන මෙම ගල් ආයුධ සෙන්ටිමීටර් දෙකක ප්‍රමාණයෙන් යුතු ඉතා කුඩා ශිලා ආයුධ විශේෂයකි. හැඩයෙන් විවිධ ජ්‍යාමිතික හැඩතල වලින් සමන්විතය. ඒවා බොහෝ විට නිපදවා ඇත්තේ තිරුවානා මගින් හා ඉතා සුළු වශයෙන් කහඳ පාෂාණ ද යොදාගෙන ඇත. මේවායේ  ප්‍රතිමුඛය මොට කර තිබේ. මොට කරන ලද මුහුණත ඇටකටු හෝ ලී වලින් තැනූ ආධාරකයක ඔබ්බවා එක පේළියට සකස් කොට ඇති තනි සංයුක්ත කැපුම් ආයුධයක් ලෙස භාවිතා කරන්නට ඇත.එලෙසම මේවා ඊතල තුඩු ලෙසද භාවිතා කරන්න ඇත.  මෙම ආයුධ විස්තර කිරීමේදී හාට්ලේ විසින් ‘පිග්මි‘ (කුඩා ආයුධ) යන  වචනය යොදාගෙන ඇත. එයට හේතුව වර්තමානයේ මෙම ශිලා සංස්කෘතිය විස්තර කිරීමේදී භාවිතා කරන ‘ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා‘ යන පදය එකල හාවිතයේ නොපැවති නිසාය. කෙසේවෙතත් මෙම ගල් ආයුධ  බටහිර යුරෝපයේ ශිලා මෙවලම් සමඟ විශ්ලේෂණ කිරීමන් මේවා පුරාතන ශිලා යුගය හා නව ශිලා යුගය අතර අතරමැදි අවධියට අයත් වන බව ඔහු විශ්වාස කර ඇත. මෙම ගල් ආයුධ එකතුව වර්තමානයේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අංශයේ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති අතර එය ලෝක ප්‍රාග් ඓතිහාසික විද්වතුන්ගේ අවධානයට මෙන්ම අධ්‍යයනයට ලක් වී ඇත.

හාට්ලේට පසුව මෙම පල්ලිය කන්ද ප්‍රාග් ඓතිහාසික ස්ථානය පිළිබඳ වැදගත්ම පර්යේෂණය සිදු කරන ලද්දේ 1940 දශකයේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීම සඳහා පැමිණි එච්.ඒ. සහ එච්.වී. නූන් යන දෙදෙනා විසිනි. මොවුන් බණ්ඩාරවෙල පල්ලිය ආශ්‍රිතව හඳුනාගත් ශිලා මෙවලම් ස්ථිර වශයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය හෙවත් ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර  ශිලා යුගය  නියෝජනය කරන බවට ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකාවේ පළමු වරට නවීන මානව සංස්කෘතිය හැඳින්වීම සඳහා ‘මධ්‍යශිලා‘ යන පදය භාවිතා කරන ලද්දේ මොවුන් විසිනි. (ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය විස්තර කිරීම සඳහා බණ්ඩාරවෙල සංස්කෘතිය, බලංගොඩ සංස්කෘතිය, අවසාන ගල් යුගය, ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා යුගය වැනි සමාන යෙදුම් වර්තමානයේ ප්‍රචලිත ලෙස භාවිතා කෙරේ.)

මෑත කාලීන පර්යේෂණ

බණ්ඩාරවෙල පල්ලිය කන්ද ස්ථානයේ ‍ප්‍රථම ප්‍රාග් ඓතිහාසික කැණීම සිදුකළේ 1913- 1914 කාලය තුළ චාල්ස් හාට්ලේ විසිනි. කෙසේ වුවත් මෙම කැණීම මඟින් බණ්ඩාරවෙල පල්ලිය කන්ද ප්‍රාග් ඓතිහාසික ජනාවාසයේ මානව ජනාවාස අනුපිළිවෙල හා ස්තරායනය පිළිබඳ විද්‍යාත්මක කාලනීර්ණ පිළිබඳ කරුණු මොහු විසින් අධ්‍යයනය කර නොතිබිණි. මෙම පර්යේෂණ අඩුපාඩුව පිරිමසා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය එස්.යූ. දැරණියගල මහතාගේ අධීක්ෂණය යටතේ 1994 වර්ෂයේ පුරාවිද්‍යා කැණීම් අංශය විසින් මෙම ස්ථානයේ පර්යේෂණ සිදුකර ඇත. මෙම කැණීමෙහි ප්‍රධාන අරමුණ වූයේ පාංශු ස්තරායනය පිළිබඳව තොරතුරු දැනගැනීම හා මෙම ස්ථානය විද්‍යාත්මක ලෙස කාල නිර්ණය කර ගැනීමයි. ඒ අනුව මෙම අරමුණ සඵල කර ගැනීමට එම කණඩායමට හැකියාව ලැබිණි. පහත සඳහන් වන්නේ මෙම ස්ථානයට අදාළ ස්තරායනය (මතුපිට සිට පිහිටි පොළොව දක්වා) හා විද්‍යාත්මක කාලනීර්ණයයි.

මෙම කැණීම් භූමිය මත මීටර 30 x 30 ක කැණීම පරිශ්‍රයක, මීටර 1 x 1 ක ප්‍රමාණයේ කැණීම් කොටු උපයෝගී කරගනිමින් ස්තරානුකූලව මව් පාෂාණය දක්වා කැණීම් කරන ලදී. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු තැන්පතුව සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 50 ක ඝනකමකින් යුක්ත විය.මෙම කැණීමෙන් ප්‍රාග් ඉතිහාසය නියෝජනය කරන පස් තට්ටු හඳුනා ගැනීමට සමත් වූ අතර එයින් පස් තට්ටු කීපයක් ජනාවාස අවධියක් නියෝජනය කරන කාබන්14 කාලනීර්ණ කිරීමට හැකි විය. ඒ සඳහා ලබා ගත් අඟුරු සාම්පල පහක් ෆ්ලොරිඩා හි බීටා විශ්ලේෂණය මගින් කාලනීර්ණය කරන ලදී (වගුව 1).

 

Sample Macro-context Lab. Code Material Conventional (BP) Calibrated (cal. Years BP) (OxCal 4.4, IntCal20)
BCH94/NW24(2) 1V Beta-75027 Charcoal 2950 ± 70 3340-2886 BP
BCH94/NW/22/(4) 1V Beta-75024 Charcoal 3520 ± 60 3976-3638 BP
BCH94/NW/22(3) 111 Beta-75023 Charcoal 3780 ± 60 4404-2931 BP
BCH94/NW/22(7) 111 Beta-75026 Charcoal 4510 ± 90 5446-4870 BP
BCH94/NW/22(5) 111 Beta-75025 Charcoal 6380 ± 80 7468-7081 BP

 

වගුව 1- විද්‍යාත්මක කාලනීර්ණ

  • ප්‍රධාන ස්තර අංක V

මතුපිට සෝදා යාමෙන් ඇති වූ පාංශු ස්තරයකි. ‍ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෑත කාලීන පුරාවිද්‍යා අවශේෂ මෙන්ම ශිලා මෙවලම් ද නිරීක්ෂණය වේ.

  • ප්‍රධාන ස්තර අංක IV

ප්‍රාග් ඓතිහාසික ජනාවාස නියෝජනය කරන පාංශු ස්තරයකි.මෑතකාලීන සෝදායෑමෙන් තැන්පත් වූ මෙම පාංශු ස්තරය සෙන්ටිමීටර් 3 සිට සෙන්ටිමීටර් 20 දක්වා ඝනත්වයෙන් යුක්තය. මෙම ස්ථරය මූලික වශයෙන් දුඹුරු පැහැයෙන් යුතු වැලි සහිත ලොම් පාංශු ස්තරයකින් සමන්විතය. ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සහිත ජනාවාස පාංශු ස්ථරයකි. කාබන් 14 කාලනිර්ණ දින වකවානු දෙකක් වාර්තා වෙයි. එනම් අදින් වසර දළ වශයෙන් 3970 සිට 3638 දක්වා කාලයට අයත් වන බවයි.

  • ප්‍රධාන ස්තර අංක III

මෙතෙක් හඳුනාගෙන ඇති ප්‍රධානතම මානව ජනාවාස පාංශු  ස්තරයයි. සෙන්ටිමීටර් 10 සිට 25 දක්වා ඝනත්වයෙන් යුතු ලා දුඹුරු පැහැ රොන්මඩ සහ වැලි මිශ්‍ර බොරළු  තට්ටුවකි. ඉහත දක්වන ලද අංක IV දරන ප්‍රධාන පාංශු ස්තරය ට වඩා ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් වාර්තාවේ. ස්තරයේ මුල් කොටස අදින් වසර  4401- 2931 දක්වා කාලයට කාලනිර්ණ කර ඇත. මධ්‍ය කොටස අදින් වසර 5446 – 4870 දක්වා කාලයට කාල නිර්ණය කර ඇති අතර යට කොටස අදින් වසර 7081-7468 අතර කාලයට කාල නීර්ණය කර ඇත. මෙම පාංශු ස්තරයෙන් නියෝජනය වන්නේ ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරීත්වය සහිත හොලෝසීන යුගයේ මුල්  භාගයට අයත්  ජනාවාස ස්තරයකි.

  • ප්‍රධාන ස්තර අංක II

ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක සහිත පොළොවකි. කාලනීර්ණ කර නොමැත.

  • ප්‍රධාන ස්තර අංක I

රතුවන් කහ පොඩ්සෝල් පාංශු පැතිකඩේ B කොටස නියෝජනය කරයි. පතුලෙහි තට්ටුව C කොටස නියෝජනය කරයි.

සංක්‍ෂිප්ත ලෙස ගතහොත්, මෙම බණ්ඩාරවෙල පල්ලිය කන්ද එළිමහන් ජනාවාස සංකීර්ණය  ප්ලෛස්ටෝසීන අග භාගයේ සිට හොලෝසීන යුගයේ මැද භාගය දක්වා දිව යන  ශ්‍රී ලංකාවේ වැදගත් ප්‍රාග් ඓතිහාසික ජනාවාස තැන්පතුවක් ලෙස හඳුනාගත හැක. මෙතෙක් සිදු කර අති ගවේශණ අනුව මෙවැනි නිරවුල් පාංශු ස්තර සහිත ස්ථාන අද ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්පයකි. හෝර්ටන් තැන්න හරුණු විට, මෙවැනි වැදගත්කමක් උසුලන කලාපයන්ගේ වපසරිය සලකා බැලූ විට හඳුනාගෙන ඇත්තේ හෙක්ටයාර 10කටත් වඩා අඩු කලාපයකි. මධ්‍ය කඳුකරය ආශ්‍රිතව මානව ජනාවාස පිළිබිඹු කරන ලෙන් ද ඉතා විරල වන බැවින් ද දකුණු ආසියාවේ නවීන මානවයාගේ ව්‍යාප්තිය හඳුනාගැනීමට මෙම ස්ථානය වැදගත් වේ. ඉහළ පර්යේෂණ සක්‍යතාවකින් අනූන මෙම ස්ථානය අනාගතයේ විධිමත් හා නවීන ක්‍රමවේද වලින් යුතු පර්යේෂණ සඳහා මෙන්ම අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා ද ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි.

– ආචාර්ය නිමල් පෙරේරා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

පරිවර්ථනය – සිතානි ජයතිස්ස

පරිශීලන ග්‍රන්ථ නාමාවලිය

Deraniyagala, S.U. 1988. The Prehistory of Sri Lanka: an Ecological Perspective, 1st ed. PhD dissertation, Harvard University. Ann Arbor, Michigan: University Microfilms, publ. no. 8820579.

Deraniyagala, S.U. 1992. The Prehistory of Sri Lanka: an Ecological Perspective, 2nd ed. Colombo: Archaeological Department of Sri Lanka.

Deraniyagala, S.U. 1994. Administration Report of the Director-General of the Department of Archaeology for 1994.Colombo: Sri Lanka Government.

Hartley, C. 1913. The stone implements of Ceylon. Spolia Zeylanica 9(34):117-23.

Hartley, C. 1914. The Occurrence of pygmy implements in Ceylon. Spolia Zeylanica 10(34):54-67.

Noone, H.V.V. 1945. Stone Age relics at Bandarawela. Loris 4: 263-66.

Noone, N.A and H.V.V. Noone 1940. The stone implements of Bandarawela (Ceylon). Ceylon Journal of Science (G) 3: 1-24.

Perera, H.N. 2010. Prehistoric Sri  Lanka: Late Pleistocene Rockshelters and an Open-Air Site. British Archaeological Report  (international series) 2142. Oxford: Archaeopress.

Perera, H.N, N. Kourampas, I.A. Simpson, S.U. Deraniyagala D. Bulbeck, J. Kamminga et al. 2011. People of the ancient rainforest: Late Pleistocence foragers at the Batadomba-lena rockshelter, Sri Lanka. Journal of Human Evolution 61: 254-269

Seligmann, C.G and B.Z. Seligmann. 1911. The Veddas. Cambridge University Press.

 

 

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

ආචාර්ය සිරාන් උපෙන්ද්‍ර දැරණියගලය යනු  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු ගෝලීය පුරාවිද්‍යාඥයාය. ඇමරිකානු පුරාවිද්‍යානු සම්ප්‍රදාය තුළ ලුවිස් බින්ෆර්ඩ් කෙතරම් වැදගත්වන්නේද එතරම්ම ශ්‍රී ලංකාව මතු නොව සමස්ත දකුණු ආසියානු පුරාවිද්‍යාව තුළ සිරාන් දැරණියගල වැදගත්විය. ඉදින් අපට අහිමුවුයේ අප රටටටත් වඩා විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ගෝලීය පුරාවිද්‍යා සිතියම තුළ ශ්‍රී ලංකාව නම් දිවයින ස්ථානගත කිරීමෙහිලා දැරණියගලයන් විසින් සිදු කරන ලද ශාස්ත්‍රීය දායකත්වය අනුපමේයය. සැබවින්ම අද්‍යතන ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ දකුණු ආසියාව කෙරෙහි නැඹුරුකරවීමෙහිලා ඔහු විසින්  කරන ලද ශාස්ත්‍රීය සම්ප්‍රදානයද හේතුවක් වූ බවට තර්කයක් නැත. ඒ සඳහා ඔහු විසින් තම ආචාර්ය උපාධි නිබන්ධනය ඇසුරුකොටගෙන සම්පාදනය කළ The prehistory of Sri Lanka:  an Ecological Perspective (1992) කෘතිය පමණක් ඇසුරු  කිරීම වුව ප්‍රමාණවත්ය. සැබවින්ම එය සම්පාදනය වී වසර තිහකට ආසන්න  කාලයක් ගත වුනද එම කෘතිය මුඵමනින්ම කියවා අවබෝධකරගෙන ඇත්තේ මෙරට සිටින පුරාවිද්‍යාඥයින්ගෙන් අතලොස්සක් විය හැකිය. එය මතුවට බිහිවෙන පරම්පරා ගණනක් විසින් පරිහරණ කළ යුතු, අවබෝධකරගත යුතු,  ශ්‍රි ලංකාවේ ප්‍රාග්ඉතිහාසය පිළිබඳ දැනුම සාරසංග්‍රහයකට ලක්කරන ලද ප්‍රධාන කෘතියද වන්නේය.

සැබවින්ම ඔහු ශ්‍රී ලංකාවේ ස්ථාපිත ඇකඩමියාව තුළ සිටි සමාජිකයෙකු නොවූ නිසා බොහෝ සරසවි සිසුන්ට හෝ පුරාවිදයා විෂයට ඇලුම්කළ අයට ඔහුගේ සෘජු ඇසුර අහිමිවුවද ඔහුගේ ශාස්ත්‍රීය කාය ඇසරුකිරීමට අවස්ථා ලැබීමට සහ ඉන් අනුප්‍රාණය ලැබීමට තරම් වාසනාවන්ත විම ගැන අප සතුටු විය යුතුය‍. මෙවන් ශෝක කටයුතු මොහොතක ඔහු හා සමීපව ඇසුරු කළ සමීපමතයන්ට ඔවුන්ගේ මතක අවශේෂ ස්මරණයට ඉඩ තබා. ඔහුගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය කෙරෙහි අවධානය යොමු කිරීම ඔහුට කළ හැකි  උපරිම ගෞරවයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව දෙස බලන ආකරය, බැලිය යුතු ආකාරය ආචාර්ය දැරණියගල විසින් සදහටම වෙනස් කළේය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකවේ ප්‍රාග්ඉතිහාසය පිළිබඳ යමක් රචනා වී ඇත්තනම් එය ඇතැම් විට ඔහුගේ පර්යේෂණ වැඩපිළිවෙලේ දිගුවක් ලෙස හෝ ඔහු ඉදිරිපත්කරන ලද මතවාදයක් වැඩිදියුණු කිරීමක් මිස අන් කිසිවක් නොවීය. සැබවින්ම ඔහු විසින් ලියූ කියූ දෙයක් ඇසුරු නොකට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසය සමබන්ධයෙන් කිසිවක් රචනා කල නොහැකි වනු ඇත. ඔහුගේ ශාස්ත්‍රීය දායකත්වය එතරම් ප්‍රබලය.  එලෙසම යම් මතුදිනක 20 වන ශතවර්ෂයේ අවසාන අර්ධය තුළ  ශ්‍රී ලංකාවේ සිදුකරණ ලද පුරාවිද්‍යා විෂය ගවේෂණය තුළ වැඩි කොටසක් ආචාර්ය දැරණියගලගේ දායකත්වය නියෝජනය වනු ඇත.

යම් රටක නිශ්චිත විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ පවතින මතවාදයක් පූර්ණ වශයෙන් විප්ලවිය වෙනසකට ලක්කිරීමට යම් පර්යේෂකයෙකුට විරල අවස්ථාවක් හිමිවිය හැකිය එහෙත් යම් රටක සමස් අධ්‍යයන ක්සේත්‍රයයම ව්‍යුහාත්මක වෙනසට භාජනයට කිරීමට අවස්ථාව ලැබීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ කොට බැලුවහොත්, ගෝලීය පුරාවිද්‍යා අධ්‍යන ඉතිහාසය තුළද හිමිව ඇත්තේ ඉතා අතලොස්සක් වූ පුරාවිදයාඥයින් පිරිසකටය, ආචාර්ය දැරණියගල ඒ එක් අයෙක් බවට පත්වී අවසානය. සැබවින්ම ඔහු ජීවත්ව සිටයදීම පුරාවෘත්තයක් බවට පත් වූ අග්‍රේසරයෙකි. එනයින් ආචාර්ය දැරණියගල,  පුරාවිද්‍යාව නූතන විෂය ශික්ෂණයක් සඳහා පදනම සකස් කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ මෝටිමර් වීල(ර්), මෙන්ම ඇමරිකානු පුරාවිද්‍යා සම්ප්‍රදාය මෙනම් සමස්ත පුරාවිද්‍යා අද්‍යයන සම්ප්‍රදායම 1960 දශකය තුළ සුසමාදර්ශීය විතැන්වීමකට ලක්කරන ලද ‘සංස්ලේශීය පුරාවිද්‍යාවේ‘ හෙවත් නව පුරාවිද්‍යාවේ පුරෝගාමියා වූ ලුවිස් බින්ෆර්ඩ් වැනි විද්වතුන් හා සම අසුන්ගනු ඇත.

ඔහු තම  Prehistory of Sri Lanka කෘතිය පිරිනමන්නේ තම දෙමාපියන් දෙදෙනාට සහ ‘නිවර්තන සූර්යාටය‘. ඔහුගේ දෙමාපියන් අතරින් විශේෂයෙන්ම ඔහුගේ පියා ඔහුගේ ශාස්ත්‍රීය දිවිය තුළ විශාල සෙවනැල්ලකව සිටියේය. තම පියා විසින් රැස්කරන ලද ඇතැම් පුරාවිද්‍යාත්මක දත්ත ආචාර්ය දැරණියගලගේ පර්යේෂණ සඳහා ආලෝකයක් සැපවුවද, ඔහු ඔහුගේ පියාගේ ක්‍රමවේදීමය සහ න්‍යායාත්මකඅ ආස්ථානවලින් වෙනස්ව එකී පර්යේෂණ නව නවදිශානතියක් කරා රැඟෙන ගිය අතර ඇතැම්විට තම පියාගේ ශාස්ත්‍රීය භාවිතාවද  විවේචනට ලක්කළේය.

‘නිවර්තනකලාපීය සූර්යා‘ පිළිබඳ ඔහුට ඇගයීමක් ඇත්තේ එම දැවෙන හිරු යට හිඳිමින් මේ දිවයින තුළ ප්‍රාග්ඓතිහාසික මානව අවශේස සොයමින් දින මාස ගතකරමින්  කළ පුරාවිදයාත්මක ගවේෂණය පිළිබඳ ප්‍රත්‍යාවලෝකනීය කෘතගුණ සැලකීමක් වශයෙන් විය හැකිය. සැබවින්ම ශ්‍රි ලංකාව ප්‍රමාණිකව සහ ගුණාත්මකව පුරාවිද්‍යාත්මක ගවේෂණයට ලක්කරන  ලද පළමු ‘ක්ෂේත්‍ර පුරාවිද්‍යාඥයා‘ වන්නේද ආචාර්ය දැරණියගලය. සැබවින්ම ඔහුම දක්වන ආකාරයට ඔහුගේ පර්යේෂණවලට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ කිසිවක් ව්‍යක්ත න්‍යායාත්මක සහ ක්‍රමවේදීමය විෂයරාමුවක් යටතේ සිදුකොට තිබුනේ නැත. එනම් ඉතිහාසයට පෙර කාලය පිළිබද කරන ලද ප්‍රකාශයන් සහ අනුමානයන්  බොහෝ අය විසින් කරන ලද ආගිය කතාවලට(just so stories) වඩා වැඩි දෙයක් නොවුයේය. එය ප්‍රධාන වශයෙන්ම නිශ්චිත න්‍යායත්මක සහ ක්‍රමවේදීමය විෂය රාමුවක් නොමැති වීමේ අඩුවක් ලෙස ඔහු අවබෝධ කොට ගත්තේය.

ෆෑන්ක් හෝල් නම් ඇමරිකානු පුරා විද්‍යාඥයා (1973)පැවසුවාක් මෙන්  “අප දකින්නේ අප දැකීමට සූදනාම් වී සිටීමට ඇති දත්ත පමණි“ යන සිද්ධාන්තය මත හිඳිමින් කටයුතු කිරිමේ අවධානම අවබෝධකරගත් ඔහු පුරාවිද්‍යාඥයා තම විෂය භාවිතය හුදුවිනෝදය සපයන දෙයකින් සහ අර්ථවිරහිත දත්ත ගොඩගසාගැනීම යන භාවිතාවලින් වෙන්කර ගත යුතු බව ආරම්භයේ සිටම අවධාරනය කළ අතරම   ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික අධ්‍යන සම්ප්‍රදාය ව්‍යක්ත න්‍යායාත්මක සහ ක්‍රමයෙව්දීය විෂය රාමුවක් තුළ ස්ථානගත කිරීමේ වැදගත්කමද මතුකොට දැක්වුවේය.

ග්‍රැහැම් ක්ලාක් නම් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයා විසින් 1968 වර්ෂයේදී හඳුන්වාදුන් පුරාවිද්‍යා ගවේෂණයක තිබිය යුතු අදියර හතරකින් යුතු අනුක්‍රමය කෙරෙහි අවධානය යොමු කල ආචාර්ය දැරණියගල,

එනම්,

(අ) කලානුක්‍රමය, එනම්  යම් නිෂ්චිත රාමුවක් යටතේ සංස්කෘතික අවශේෂ පෙළගැස්වීම

(ආ) යම් නිෂ්චිත කාල/අවකාශයකට අයත් එක් එක් සංස්කෘතීන් විස්තර කිරීම සහ එමඟින් පුරාමානවවංශලේඛනයක් සකස්කිරීම

(ඇ) යම් නිෂ්චිත කා/අවකාශයකය අයත් සංස්කෘතීන් සංසන්දනය කිරීම එනම් පුරාමානවිද්‍යාවක් වෙත ප්‍රවේශය

(ඈ) කාලය සහ අවකාශය  හරහා සිදුවන සංස්කෘතික ගතිකයන් පිළිබඳ සමාන්‍යකරණයන්(generalization) සකස්කිරීම යන අදියර සැලකිල්ලට ගත්කළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාතික පර්යේෂණ ඉහත දෙවන අදියර ඉක්මවා ඉදිරියට නොගිය බවද එයද විශාල ව්‍යාකූල ස්වාබාවයක් ගෙන ඇති බව අවධාරනය  කළේය. ඔහු විසින් එකී භාවිතයෙහි ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් හඳුනාගත්තේය.එනම් ශ්‍රී ලංකවේ ප්‍රාග්ඓතිහාසික අධ්‍යයන සම්ප්‍රදාය තුළ,

(1) සංස්කෘතික අස්ථිත්වයන් තාවකාලිකව සමුද්දේශ කළ හැකි  කාලානුක්‍රමයක් ගොඩනංවා නොතිබීම, උදහාරණයක් වශයෙන් මානවයින් විසින් ප්ලයිස්ටොසීන කාලපරිච්ඡේදය තුළ මෙරට ජනාවාස කළාද යන්න ගැන නිශ්චිත අදහසක් ඒ වනවිටත් නොතිබුනේය

(2)  ශ්‍රී ලංකාවේ පුරාපාරිසරික තත්ත්වයන් කෙබදු තත්ත්වයක පැවතියේද යන්න ගැන සංගත දැක්මක් නොතිබීම

(3) මිනිසා සහ පරිසරය අතර පවතින අන්තර්සබඳතාව සම්බන්ධයෙන් අපතුළ පැවති නොදැනුවත් බව- විශේෂයේම ඔහුගේ යැපුම් උපක්‍රමයන් කෙබදුවීද යන්න ගැන

(4) එමෙන්ම දකුණු ආසියානු සහ ගොලීය ප්‍රාග්ඓතිහාසික සංදර්භය නම් පුළුල් සංදර්භය තුල සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසය සෙද අවධානය යොමුනොකර තිබිණි.

පුරාවිද්‍යා විෂය ගවේෂණය තුළ ඉතා දෘඩ ක්‍රමවේදී ප්‍රෙව්ශයක අවශ්‍යතාව හඳුනාගත් ඔහු  ශ්‍රී ලාංකිය සන්දර්භය තුළ එහි ප්‍රායෝගික භාවිතය තුළදී එය කෙබඳු ස්වාබාවයක් ගත යුතුද යන්න ගැනද ඔහු ඉතා පැහැදිලි අදහසක් තිබිණි. එනම්  ‘පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් වර්ධනය වනවිට එහි සෑම අදියරකදීම එකී පර්යේෂණයේ ක්‍රමවේදය සමීප සන්නිරීක්ෂණයකට පාත්‍රවිය යුතු අතර පුරාවිද්‍යාත්මක අනුමාන ව්‍යුහයේ ලිහිල්බව නැතිකළ නොහැකි නම් ඇතැම් භව්‍ය උපන්‍යාසයන් කිහිපයක් බැහැරකිරීම දක්වා එය තදකල හැකිවීමට තවදුරටත්  හැකිවිය යුතු අතර එමඟින්  පර්යේෂණයට ලක්කරණු ලබන ප්‍රෙම්යයන්(ප්‍රස්තුතයන්) එහි පරිමාණවලින්  යම් කලමණකරණය කරගත හැකි මට්ටමක තබාගත හැකි බව‘ අවධාරණය කරනු ලැබිණි.

ශ්‍රි ලංකාවේ විසූ ප්‍රාග්ඓතිහාසික මානවයා  සහ ඔහු විසූ පරිසරය අතර පැවති අන්තර්සබඳතාව නිරීක්ෂණය කිරීමට ඔහු වෙහෙසුන අතර එකී අන්තර්සබඳතාව ඔහු විසින් පද්ධති න්‍යායය(Systems Theory) මූලිකකොටගත් දෘස්ටිකෝණයක් ඔස්සේ සෙවීමට  උත්සහ දැරූ අතර ඔහුගේ සමස්ත පර්යේෂණ ප්‍රවේශය “ සංස්කෘතික පුරා-පාරිසරිකවිද්‍යාත්මක“ ප්‍රෙව්ශයක් ලෙස හඳුන්වා දුන්නේය. සැබවින්ම එකී කාලයට සාපෙක්ෂව එම සංකල්පීය භාවිතයන් ශ්‍රි ලාංකික පුරාවිද්‍යා ක්ෂේත්‍රයට බෙහෙවින්ම නැවුම් විය‍

තම සංකල්පීය ගමන්පථය (Conceptual roadmap )සකස්කර ගැනීමෙන් පසුව ඔහු තම සමස්ත පර්යේෂණය ප්‍රධාන අදියර හතරකට බෙදා දැක්වුවේය. එකී අදියර සතරකින් යුතු  විමර්ශනාත්මක අනුක්‍රමයක් හඳුන්වාදීමෙන් පසුව තම දිවිය තුළ කල කී දෑ සියල්ලක්ම එකී අනුක්‍රමයන් මත පිහිටමින් එය ආශ්‍රයකොට ගනිමින් පැහැදිලි කළේය. බෙල්ලන්බැඳි පැලැස්සේ තම පියා විසින් කණින ලද ශිලා මෙවලම් එකතුව විශ්ලේශනය කිරීමෙන් ඇරඹි පළමු අදියර තුළ අනුරාධපුරය ඇතුලු නුවර, සහ ශ්‍රී ලංකාවේ ඊශාන දිග මුලතිව් වෙරළේ සිට අග්නිදිග කුමන වෙරළතීර කළාපය තෙක් ඇති තීරුව ප්‍රාමාණික පුරාවිද්‍යාත්මක ස්තානීය ගවේශනයකට ලක්කරන ලදී. ඉන්පසුව මධ්‍ය කඳුකරයේ  හෝර්ටන්තැන්න වැනි පෙර වාර්තාවී පැවති ප්‍රාග්ඓතිහාසික විවෘත ජනාවාස භූමි ගවේෂණයට ලක් කරන ලද්දේය ඉන් පසුව දෙවැනි අදියර වශයෙන් ඉරණමඩු තැන්පතුව ගවේෂණයට ලක් කරන ඔහු ලංකාවේ දකුණු දිග වෙරළාසන්න බුන්දල පතිරාජ වෙල,  යාල, මිනිහාගල්කන්ද වැනි ප්‍රදේශ ස්ථානීය ගවේෂණයට ලක්කළේය. පසුව තෙවන අදියර යටතේ එම ස්ථානීය ගවේෂණ වලින් හමවූ ප්‍රධාන ස්ථානයක් කැනීම් කරන ලද අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග වැසි වනාන්තර තුළ පිහිටා ඇති  ප්‍රාග්ඓතිහාසික ගුහා සහ ගුහා පියැසි පිළිබඳ ඔහුගේ අවධානය යොමුවන්නේ ඉන් පසුවය. එය ඔහු තම පරයේෂණාත්මක විෂය රාමුවේ හතරවන අදියර ලෙස නම්කරයි. සැබවින්ම මෙහිදී ඔහු විසින් අවධානය යොමුකරන ලද එකි ගුහා වාසස්ථාන බොහෝමයක්ම පාහේ ඔහුගේ පියා විසින් පෙරදී කැණීම්කොට හෝ වාර්තාකොට පැවති ස්ථාන වුවුද ඔහු එම ස්ථලයන් පිළිබඳ සොයාබැලීම තම අවසන් අදියර වශයෙන් තබා ගන්නේ ඔහු තුළ තමන් විසින් සිදුකරනු ලබන පර්යේෂණය පිළිබඳ සැකසූ විධිමත් සංකල්පීය මාර්ග සිතියමක් පැවති නිසාය.එය ශ්‍රී ලංකවේ ප්‍රාග්ඓතිහාසික අධ්‍යයන සම්ප්‍රදාය ක්‍රමවේදී සහ නයායත්මක විෂය රාමුවක් යටතට ලක්කළ යුතු බවට ඔහු ලබාදුන් ආදර්ශයද වන්නේය.

ඇතමෙකු ඔහුව හඳුන්වා දෙන්නේ ප්‍රත්‍යයක්ෂමූලිකවාදියෙකු( positivist) හෙවත් තම මතයන් ආනුභවික දත්තයන් මත පමණක් පදනම් වෙමින් තහවුරුකිරීමට පෙළඹුන අයෙකු ලෙසය, ඒ අතින් ඔහු ශික්ෂණ ලැබූ ඇමරිකානු පුරාවිද්‍යාත්මක සම්ප්‍රදායට ඇති ඥාතිත්වය මත තබා ඔහුව එලෙස ලගුකර දැක්වුවද යම් දෘඩ න්‍යායාත්මක ආස්ථානයක සිටීම පිළිබඳ ඔහු ගේ අදහස වෙනස් බව ඔහුගේ කෘතිය විශ්ලේශනාත්මක කියවීමකට ලක්කළ විට අවබෝධ වන්නකි. එහිදී එහු ව්‍යුක්ත න්‍යායකරණයෙන් මිදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසයේ කාල/අවකාශීය විහේෂයෙන්ම පාරිසරකි සංදර්භවල සාමාන්‍ය චිත්‍රයක් ලබාගැනීමට අදාළ වඩාත් මූලික සහ සාපේක්ෂව ස්වාධීන ගැටලු කෙරෙහි  අවධානය යොමුකිරීම සඳහා තම පර්යේෂණ රාමුව සකස්කරගත් බව පෙනේ.  සැබවින්ම ඔහු තම පර්යේෂණයේ මුල් අදියර තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණය තුළ ඒ දක්වා පැවති න්‍යායාත්මක ව්‍යාකූලත්වයන්ට  වඩා ක්‍රමවේදී දුර්වලතා මඟහැරවීමට වෙහෙස වූ බව පෙනේ.

සැබවින්ම ඔහු නිරන්තරයෙන් අවධාරණය කළේ පුරාවිද්‍යා විෂය ශික්ෂණයේ යම් උපවිෂයශික්ෂණයක් තුළ විශේෂීකරණය වීමට මත්තෙන් පුරාවිද්‍යා විෂය තුළ නියලෙන්නෙකු  පුරාවිද්‍යාඥයෙකු බවට පත්විය යුතුබවය.  ඔහු දැඩිව විශ්වාස කළේය පුරාවිද්‍යා මූලිකාංග පිළිබඳ මනා පරිචයක් ලැබූ ක්ෂේත්‍ර පුරාවිද්‍යාඥයෙකු බවට පත්වීමෙන් අනතුරුව පමණක් එකී විෂය තුළ ප්‍රමාණිකයෙකු බවට පත්වීමට හැකි බවය.

ඔහු තම ශාස්ත්‍රීය ජීවිතය තුළ සම්පාදනය කළ දෙවැනි කෘතිය වූ 2007 දී රචිත The prehistory and proto-history of Sri Lanka කෘතිය තුළදී ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් මතයන් ඒ වනවිට නිෂ්පාදනය වී තිබුණු පුරාවිද්‍යාත්මක දැනුම මත යම් වෙනස් කිරීම්වලට ලක්කලද ඔහුගේ සමස්ත ප්‍රෙව්ශය පිළිබඳ පුනර්ඇගයිමක් නොකළේය. එහෙයන් න්‍යායත්මක ප්‍රෙව්ශයක් වශයෙන් “පාරිසරිකවිද්‍යාත්මක පර්යාවලෝකයේ‘ ඇති ලුහුඩුතා කෙරෙහි සවිඥානික වෙමින් තම ප්‍රෙව්ශය ප්‍රති ඇගයිමකට ලක්කිරිමට පැවති අවස්ථාව ද ඔහුට මගහැරී ගියේය.

සැබවින්ම මෙකී ප්‍රවේශයේ ඇති ලුහුඩුබව ඔහුගේ කෘතිය නිකුත් වූ කාල පරිච්ඡේදය තුළම පුරාවිද්‍යාවේ පරිසරක ප්‍රෙව්ශය පිළිබඳ වන සාකච්ඡාවලදී අවධාරණ වි තිබිණි.  මැතිල්ඩේ රුයිස් (1992) සහ ජේම්ස් මැක්ලීඩ් (1995) විසින් දක්වන අදහස් කෙරිහි යොමුවෙමින් අපට ඒ ගැන සොයා බැලීමක් කල හැකිය.

පුරාපාරිසරික-විද්‍යාත්මක(palaeo-ecological) විශ්ලේනයන්හි ඇති  ගැටලුකාරි ස්වාභාවය නම්, පුරාවිද්‍යාවේ වඩාත් තාක්ෂණික සහ විදයාත්මක ප්‍රෙව්ශයක් තුළින් පුරාපාරිසරික දත්ත සාම්ප්‍රදායික ස්ථාරායන-වර්ගීකරන පුරාවිද්‍යාවේ ඌණපුරණයක් වශයෙන් ඉදිරිපත්කිරීමට පෙළඹී කිබීම බව රුයිස් හඳුනාගනී. එනම් දත්ත වඩාත් යාන්ත්‍රිකව සහ ඒකදිශාගතව අර්ථකතනය කිරීමේ දෝෂයකින්  එය පෙළෙන බව ඇය අවධාරණය කළාය. උදාහරණයක් වශයෙන් ස්ථලයකින් හමුවන යම් දැවුණු අඟුරු ජනාවාසය අවට අවට වන ලැහැබක් පැවති බවට ද  ස්ථලයේ ඇති ස්ත්ව අස්ථි අවශේෂ ඔවුන්ගේ යැපුම්ආර්ථිකයන් පිළිබඳ අවධාරණය කිරීම වැනි හුදු තනි අර්ථවිවරණමය ඉදිරිපත් කිරිමකට නතුවීමයි.මෙහි ප්‍රතිඵලය වුයේ එකම යථාර්ථයක පැවති විවිධ අංග පිළිබඳ තනි ඉතිහාසයන් ගොඩනැංවිමක් සිදුවීම වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනුම කණ්ඩනය වූ එසේත් නැතිනම්  වෙන් වෙන් ඒකකවල හුදකලා වූ  ස්ථිතික පුරාවිද්‍යාවක් බිහිවීම සිදුවිය‍.

එහිදී ප්‍රධාන වශයෙන්ම  පරිසරය සහ මනාව සමාජය අතර පැවති සබඳතාව පිළිබඳ සලකා බලනු ලැබූ සංකල්පීය රාමුවක් තැනීමට එහිදී උත්සහ නොගැනිනි. එනම් මානවයා පරිසරය හමුවේ අක්‍රීය ප්‍රපංචයක් ලෙස නොසලකා ස්වාභාවික පරිසරය සමඟ ඔහු විශේෂයෙන්ම ඔහුගේ සමාජීය සහ දේශපානික  පද්ධති අන්තර්සබඳතා පැවත්වුයේ  කෙසේද යන්න අවබෝධ කරගැනීම  වඩාත් වැදගත්වන්නට තිබිණි. මෙහිදී පාරිසරකි පද්ධතිය තුළ මානව සමාජය අන්තර්බද්ධකොටසක් බවට පත්වන අතර  එනයින් පරිසරය තවදුරටත් ස්වාභාවික නිර්මිතයක් නොවී මිනිසුන් සමඟ ගනුදෙනු කරනු ලබන සමාජීය ඒකකයක් බවට පත්වන බව ඇය අදහස් කරයි.

තවද ස්වාභාවික පරිසරය යනු යම් සමාජයක නඩත්තුවට අවශ්‍ය දෑ ලබාගැනීමට ඇති පද්ධතියක් ලෙස සැලකීම සහ  පාරිසරික වෙනස්කම් මත පුද්ගල චර්යාවද වෙනස්වන බව දක්වන පරිසරය හමුවේ පුද්ගයා යනු අක්‍රීය අස්ථිත්වයක් බවට පත්වන ‘පාරිසරික නියතිවාදය‘ යන සංකල්ප එමඟින් අහෝසීවී යන බව දක්වයි. ඒ වෙනුවට මෙහිදී අවධානය යොමුවිය යුත්තේ පාරිසරික තත්ත්වයන් මත කාලය හරහා කිනම් විවිධ දේශපානික සමාජීය හෝ ආර්ථික ප්‍රතිවිපාකයන් ඇති වුයේද යන්න අවබෝධකරගැනීම සහ ඇතැම් ස්වාභාවික සහ සමාජීයආර්ථික තත්ත්වයන් යටතේ දිවිගෙවූ කිනම් උපයෝජන උපක්‍රමයන් තෝරාගත්තේද යන්න අවබෝධකරගැනීමයි. මෙහි මූලික අදහස වන්නේ ඕනෑම සමාජයක පැවැත්මට ස්වාභාවික සම්පත් අවශ්‍ය බව ගම්‍යමාන වුවද අවසානයේ එකී සම්පත් උපයෝජනය කරන අකාරය තීරණය කරන්නේ සමාජය විසින් වන අතර මෙම තීරණ උපයෝජනය කරනු ලබන තාක්ෂණික විධික්‍රමයන් මත රඳාපවතින ආකාරයෙන්ම දේශාලනික සබඳතා මතද රඳා පවතී යන්නය.

එහෙයින්  අචාර්ය දැරණියගල  විසින් යොජනා කරන ලද සංස්කෘතික පුරා-පාරිස්ථිකවිද්‍යා ප්‍රෙව්ශය  සමාජීයපාරිසරිකවිදයාත්මක( socioecological) පද්ධතියක් බවට පත්කිරීමට උත්සහ ගත්තා නම් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවයා තම පරිසරය සමඟ පැවැත්වූ සක්‍රීය සම්බන්ධය පිලිබඳ වඩා ප්‍රබල චිත්‍රයක් මවා ගැනීමට හැකිවීමට ඉඩ තිබිණි. එහෙත් ඔහු විසින්ම දක්වන ආකාරයට ඔහු වඩාත් වෙහෙසුනේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂයශික්ෂණයට අනන්‍ය ක්‍රමවේදී දුර්වලතා මඟහැරීමට වන අතර එය  ව්‍යුක්ත න්‍යාකරණයක යෙදීමට වඩා ප්‍රාරම්භකව ප්‍රමුඛතාව හිමිවිය යුතු දෙයක් ලෙස අවධාරණය කළේය. එමෙන්ම ප්‍රාග්ඓතිහාසික සමාජීය සංවිධානය හා සම්බන්ධ සප්ර්ශකිරීමට ප්‍රමාණවත් නැති සහ වඩාත් සංකීර්ණ ගැටලු වල දුෂ්කරතා විසඳාගැනීම අර්ථකතනමය ධුරාවලියක ඉහල මට්ටමකදී ඇගයිම සඳහා ඔහු විසින් ඉතිරිකර තබන ලද අතර ඔහු තම දිවියේ අවසන කාල පර්ච්ඡේදය තුළ අපේකෂා කළ පරිදි මතුවට බිහිවන පුරාවිද්‍යාඥයින්ගේ පරම්පරාවට එකී ගැටලුවලට පිළිතුරු සෙවීමට සිදුවනු ඇති අතරම එය ආචාර්ය දැරනියගල විසින් අපට ඉතිරිකර ගොස් ඇත්තේ එබඳු උරුමයද වන්නේය.

ශාස්ත්‍රීය භාවිතාව අතින් වඩාත් දෘඩ, සංකීර්ණ සහ පහසුවෙන් අවබෝධකොටගත නොහැකි  විද්වතෙකු වුවද සමාජීය සමබන්ධතා විෂයෙහි ඔහු ඉතා ලයාර්ද්‍ර සත්පුරුෂයෙකු වූ බව සහ තම දැනුම බෙදාහදාගැනීමට නොමසුරු සංවේදී පුද්ගලයෙකු වූ බව ඔහුගේ සෙවන ලැබූ  බොහෝ දෙනෙකුගේ අදහසය.

මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතානන් විසින් ලෝකයට සිටින්නේ එක් පරණවිතාන කෙනෙකු බව පැවසුවාක් මෙන් අපට පැකිලීමක් නොමැතිවම ලෝකයට සිටින්නේ එක් දැරණියගල කෙනෙකු බව පැවසිය හැකිය ඒ අන් කිසිවක් නිසා නොව  ඔහු සතුවූ  දුලබ නිපුණතාව මෙන්ම ලාංකීය  පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය කෙරෙහි ඔහු දැක්වූ  දායකත්වය සහ ඒකී විෂය ශික්ෂණය  සඳහා  ඔහු සතුව පැවති  නොසන්සිඳෙන කුතුහලය,  ඔහු තම දිවිය තුළ එකතු කරගත් විෂය කරුණු පිළිබඳ සහ ඒවා න්‍යායගත කිරීමට ඔහු තුළම නැඟුනු විරුද්ධාභාසමය සිතුවිලිවලින් පිරි අවිවේකි මනසින් යුතුව අතිශය වියපත් වියේදී වුව විෂය වෙනුවෙන් ඔහු දැක්වූ සක්‍රීය මැදහත් වීම යන කාරණා නිසාය.

දිනේෂ් දේවගේ

 

 

වන්නි හත්පත්තුවේ පවතින බත් මාලාව ශාන්තිකර්මය හා ඒ හා බැඳුණු අයියනායක දේව ඇදහිල්ල

අයියනායක දේව ඇදහිල්ල

 හැඳින්වීම

ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල නිර්මාණය වූ ජන සමාජගේ සංස්කෘතික ලක්ෂණ අතර එන විශ්වාස හා  ඇදහිලි එකිනෙකට වෙනස් වන අතර  ඒ ඒ ජන සමාජ කොටස්වලට ආවේණිකය  අභිචාර විධි දැකගත හැකිය. ලංකාවේ වියළි කලාපයට අයත් වන්නි හත්පත්තුව ප්‍රදේශය ද ඊට ආවේනික දේව විශ්වාස හා ඇදහිලි වගේම පුදසිරිත් කීීපයක් දැක ගත හැකි වේ .මෙම අභිචාර ගැන මානව විද්‍යාත්මකව අධ්‍යයනයය තුළින් එම ජනසමාජයේ ආධ්‍යාත්මික පැතිකඩ  නිර්මාණය වූ ආකාරයත් ඊට පාදක වූ හේතු කාරණා වගේම ජනසමාජයන් නිර්මාණයට බලපාන පාරිසරික සාධක පිළිබඳව පැහැදිලි අධ්‍යනයක් කළ හැකිය . එ නිසා මෙම ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ කුරුනෑගල දිස්ත්‍රිකයේ මහව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාය හෙවත්  වන්නි හත්පත්තුව ප්‍රදේශය තුළ ඇති බත් මාලාව ශාන්තිකර්මය හා ඒ තුලින් පිදුම් දෙන ප්‍රාදේශීය දෙවි කෙනෙකුන් වන  අයියනායක  දෙවියන් පිළිබඳ මානව වංශ පුරාවිද්‍යාත්මක විග්‍රහයක් සිදු කිරීමයි.

අයියනායක දේව සංකල්ප

වන්නි හත්පත්තුවට අධිපති වශයෙන් ගැමියන් විශ්වාස කරන අයියනායක දෙවියන් පිළිබඳ මූුලාශ්‍රගත සාධකයන් ගණනාවක් හමුවේ සමහර කාරණා එකිනෙකට වෙනස් කාරණා වීමද විශේෂත්වයකි ඒ අනුව අයියනායක දෙවියන් ගැන උත්පත්ති කතා කිහිපයක් ඇත.ඒ බොහොමයක්  කතා ඉන්දීය සම්භවයක් සහිතව මේ දෙවියන් නිර්මාණය වූ බවට වන ඒවා වේ.

 

අයියනායක දේව ඇදහිල්ල
දකුණු ඉන්දීය අයියනාර් දෙවියන්

ඉන් එක් මතයක් නම් උමයංගනාව අල්ලා ගැනීමට ඊශ්වර දැහැන වැඩු එක්තරා  ඍෂිවරයෙක්ගේ දකුණු අතින් මෙම දෙවියන් උපත ලැබූ බවයි . ඒ නිසා කර්නාර් නමින් හැදින්වූ අතර පසුව අයියනාර් ,අරියනාගම් ලෙස දමිළ ජනතාව අතරට ගිය අතර ශ්‍රී ලංකාවේ ජනතාව අතරට පැමිණියේ අයියනායක දෙවියන් වවශයෙනි.  (සිං.වි.කෝ පළවෙනි කාණ්ඩය,1992,755)එහෙත්  මහාචාර්ය එල් භාෂාම් ප්‍රකාශ කරන්නේ මොහු ශිවගේ පුත්‍රයෙක් වන බවයි.(බෂාම්,1965,4  04 )

දකුණු ඉන්දියාව තුල අයියනාර් දෙවියන් ඇතකු පිට වගේම අශ්වයකු පිට නැගී ගමන් කරන ආකාරයේ නිරූපිත මූර්ති ඇත.එහෙත් වැඩිපුර මුර්ති නිර්මාණය කර ඇත්තේ අශ්වයෙකු පිට නැගී සිටින ආකාරයකි(Krisan,1982,232,233).ඉන්දීය අයියනාර් දෙවියන් හා ලාංකීය අයියනායක දෙවියන් නිරූපණය කළ ආකාරය තරමක් දුරට පරස්පර විරෝධී වේ. වන්නි හත්පත්තුවේ ප්‍රදේශයේ පවතින දේවාලවල අයියනායක දෙවියන් නිර්මාණය කර ඇත්තේ සිංහල දෙවියකු ලෙසයි. දිගු රැවුලක් ඇති මහළු පුද්ගලයකු  වම් අතින් කෙවිටකුත් දකුණු අතින් පුස්කොළ පොතකුත් රැගෙන ඉන්නා ආකාරයෙන්  නිරූපණය කර ඇත. ලංකාවේ  අනුරාධපුර යුගයට අයත් ඉසුරුමුණි විහාරය තුළ දැකිය හැකි මිනිසා සහ අශ්ව හිස යන මූර්තිය අයියනායක දෙවියන්ගේ බව ඉන්දීය සමහර විද්වතුන්ගේ අදහස කි(Krisan,1982,229-230) .මේ අනුව අයියනායක දේව සංකල්පය ඇදහීම් සමහරවිට අනුරාධපුර යුගය දක්වාම  දිවෙන බව සිතිය හැකි වේ.

ඒ කෙසේ වුවත් අයියනායක දේව  සංකල්පය ලංකාවට පැමිණියේ කුමන කාලයකදී යන්න නිශ්චිතවම ස්ථිරව වශයෙන් පැහැදිලි කරගැනීමට සාධක නොමැති වේ .  ගම්පළ කෝට්ටේ යන යුගයන්වල රචිත සමහර සන්දේශ කාව්‍ය වල අයියනායක දේවාල පැවති බව  දක්වා ඇත(දිසානායක,2014,11)

මෙලෙස භාරතීය ආභාසයක් සහිතව  නිර්මාණය වූ අයියනායක දේව සංකල්පය  වන්නි හත්පත්තුවේ  ගැමි ජනතාව   ඇදහිල්ලක් ලෙස  පවත්වාගෙන පැවති යුගය ගැන නිශ්චිත  ඓතිහාසික  සාධක නොමැත.  වයඹ පළාතේ පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් උඩ කොටස් යන  ප්‍රදේශ මධ්‍යකාලීන යුගයේදී නිතර ද්‍රවිඩ  ආක්‍රමණ හා බලපෑම් වලට යටත් ව තිබූ නිසා එම යුගයට සාපේක්ෂව ද්‍රවිඩ බලපෑමක් මත අයියනායක දේව සංකල්පය වන්නි හත්පත්තුවේ සිංහල ජනයාට කාන්දු වූ බව නිගමනය කළ හැකිය . ඒ කෙසේ වෙතත් වන්නි හත්පත්තුව ප්‍රදේශයේ සාමාන්‍ය ගැමියන් එම දෙවියන් කෙරෙහි විශ්වාසය කොතෙක් ද යත් සාමාන්‍ය ජන ජීවිතයේ තම කාර්යයන්  කිරිමේදී අයියනායක දෙවියන් හැමවිටම සිහි කරයි.

භාරතීය දමිළ බලපෑම්ක් මත නිර්මාණය වූවද අයියනායක දේව සංකල්පය මනාවට ලාංකික  සංස්කෘතියට ගැළපෙන ආකාරයට  ගැමියන් වෙනස් කරගෙන තිබේ.කෝල්මුර කවි වලදී  මුලදී බුදුන් යටත් වැසියකු  ලෙසත් බුදුන්ගෙන් ආශිර්වාද ලබාගත් දෙවියකු ලෙස වර්ණනා කිරීම් ලාංකික සංස්කෘතියට මෙම දෙවියන් මුල් බැස ගත්තේ පැහැදිලි කරගැනීමට ඇති හොදම නිදසුනකි. මොහුට අයියනායක මුත්තා ලෙසද වන්නිහත්පත්තුවේ ගැමියෝ ආමන්ත්‍රණය කරති. බත් මාලාව ශාන්තිකර්මයෙදී ගායනා කරනු ලබන කෝල් මොර කවිවල සදහන් වන පරිදි ගැමියන් විශ්වාස කරන්නේ අයියනායක දෙවියන් තම සගයන් වූ කළු දේවතාව , කම්බිලි දේවතාව , කඩවර දේවතාව යන පිරිස සමග රන් නැවක නැග මෙරටට ඉන්දියාවේ මලය දේශයෙන් පැමිණි බවයි*.

බත් මාලාව ශාන්තිකර්මය

අයියනායක, කම්බිලි, කඩවර  යන දෙවියන් උදෙසා පවත්වනු ලබන පිදිමෙ චාරිත්‍රයක් ලෙස බත් මාලාව ශාන්තිකර්මය හැඳින්විය හැකිය.මෙය වන්නිකරය ට ආවේණික චාරිත්‍රයකි.ගැමියන්ගේ දෛනික ගැටලුවලට සරණක් පතා මෙය සිදු කරනු ලබයි. මුලින්ම සිදු කරන්නේ එසේ තමාට බලපාන හේතුවක් සිහියේ තබාගෙන නිවසේ වහලයේ හෝ අගුපිලේ පඬුරක් ගැට ගැසීමයි. දැනට මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගස්වැව නම් ගම්මානයේ බත් මාලාව සෑම අවුරුද්දක් පාසාම සිදුකරනු ලබයි. අවුරුද්දේ මහ කන්නයේ කුඹුරු ගොවිතැන් අහවර වී අස්වනු නෙළා ගත් පසු අප්‍රේල් මාසයේදී ගැමියෝ එකතුව විී බත් මාලාව ශාන්තිකර්මය පැවැත්වීම සිදුකරති .

ගමේ එක් නිවසක් තෝරා ගෙන යොදාගත් දිනයකදී බත් මාලාවට අවශ්‍ය කටයුතු සිදු කරයි. මෙහිදී මුළු ගමම මේ සඳහා අවශ්‍ය කළමනා සැපයීම්ට වග බලා ගනී. මුලින්ම සිදු කරන්නේ ගමේ පිරිස් නෑදෑහිතවතුන් එකතු විය අවශ්‍ය අඩුමකුඩුම  එකතු  කරගැනීම වේ.ඒවා නම්

1 බුලත් සියයයි

2  පුවක් සියයයි

3  පහන් විසි හතරයි

4 හත්මාළුව

5  රත් ඇඹුල් බත්

6 පස් පුළුටු  – තල, මුං, ගොඩ මස් (දඩ මස්) ,දිය මස් ( මත්ස්‍ය ආහාර )

මෙහිදි විශේෂ කාරණාව නම් මේ සියලු කර්තව්‍යයන් සිදුකරන්නේ පිරිමින් විසින් පමණි. ආහාරපාන සකසා ගැනීම පවා සිදු කරන්නේ පිරිමින් විසින් වීම ද විශේෂත්වයකි. එම කන්නයෙන් ලැබුණි  අලුත් සහලින් බත් පිස ගන්නා අතර අනික් ආහාර ද්‍රව්‍ය ද ඔවුන් තම  පරිසරය අවටින් සොයාගනී .

බත් මාලාවටට අවශ්‍ය අඩුම කුඩුම සපයා ගත් පසු සුදුවතින් සැකසුන කපු මහතෙකු සවස් භාගය වන විට අවශ්‍ය මල් යහන් , ගොක්කොළ සැරසිලි හා කෙසෙල් කොට භාවිතය පූජා ද්‍රව්‍ය සකස් කරන්නේ මහත් ගෞරවයකිනි. ඔවුන් එම ද්‍රව්‍යවලින් තරමක් විශාල මල් ආසනයක් නිවස තුල නිර්මාණය කරන අතර ගොටු නමයක් දීමට අවශ්‍ය ඇවරි කනු ද නිවස පිහිටි වත්තේ පිටතින් නිර්මාණය කරයි .

රාත්‍රී  අට නාමය වනවිට ආවතේවකරුවන් හා උඩැක්කි වයන්නන් උදව්වෙන් කපු මහතා බත් මාලාවේ වැඩ වැඩකට කටයුතු ආරම්භ කරයි. කපු මහතාද  ද  උඩැක්කි  වයන්නන් ද එම ගමේම පුද්ගලයන් වීම ද විශේෂත්වයකි .උඩැක්කි වයන්නන් කවි කියමින් සිටින විට කපුවා කම්බිලි දෙවියන් ගෙන් ආවේශ වීම් සිදු වේ. මෙම කවි කොටස් කීපයක් ලෙස ගායනා කිරීම සිදු කරයි.

1 ආශිර්වාද කවි

2  අවසරය

3  බැහැර කීම

4  මල් යහන් කවී

කොටස් වශයෙන් කවි උඩැක්කි වයන්නන් විසින් ගායනා කරනු ලබයි. ඔවුන් මෙයට ව්‍යවහාර කරන්නේ පූජා කරනවා නොව ඔප්පු කරනවා යන්නයි. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ විශ්වාසය හැටියට පූජා කරන්නේ බුදුන්ට දෙවියන්ට සිදුකරන්නේ බාර ඔප්පු කිරීම වෙයි .දේව භාෂාවෙන් භාරය ඔප්පු කර ඔවුන් උපයා ගන්නා ලද කැවිලි පෙවිලි ගොටු  වලට විවිධ රටාවන් ද තිබීම ද විශේෂත්වයකි. ප්‍රධාන මල් පැල තුල දෙවියන් පස් දෙනෙකුට ගොටු පහක් තබයි . පස් කට්ටුව යනුවෙන් ආමන්ත්‍රණය කරන මෙම දෙවියන් වන්නේ

1  අයියනායක දෙවියන්

2  කඩවර දෙවියන්

3  කළු දේවතාවා

4  කම්බිලි දෙවියන්

5  ගම්භාර දෙවියන්

නිවසින් පිටත ගොටු ලබාදී භාරය ඔප්පු කර නැවත ඊළඟ වසර සඳහා ද දෙවියන් වෙනුවෙන් බත් මාලාව ශාන්තිකර්මය පවත්වන බවට භාරයක් වීම ද ගැමියන් සිදුකරති.නැවත භාර වන්නේ ඊළඟ වසරේ තම භවබෝග ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමිනි. තවද දෙවියන්ගෙන් ආවේශ වන කපු මහතා විවිධ ලෙඩරෝග හා ප්‍රශ්න ඇති ගැමියන්ට සෙත් ශාන්ති හා අනාවැකි පළ කිරීම් ද මේ අවස්ථාවේදීම සිදු කිරීම විශේෂත්වයකි. එම නිසා ගැමියන් බත් මාලාව ශාන්තිකර්මය සලකන්නේ දෙවියන්ගෙන් තම දෛනික ජීවිතයේ සියලු අවස්ථාවන්ට විසඳුම් හා  ආශිර්වාද ලබා දෙන්නාවූ මහත් ගෞරවනීය පූජා උත්සවයක් ලෙසයි.

ඉන් අනතුරුව ගම්කරයේ  වෙසෙන සියලු දෙනාට එම නිවස තුළ රාත්‍රී ආහාරය දානයක් ලෙස   සූදානම් කර තිබේ . එය සිදුවන්නේ මධ්‍යම රාත්‍රී  දොළහෙන්න් පසුව වේ. කෙසෙල් කොළ එලා දෙවියන්  වෙනුවෙන් සෑදූ ආහාරවලින් සියලු දෙනාට සංග්‍රහ කිරීම මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. එම දානය සඳහා පුහුල්, කෙසෙල් ,ගොඩ මස් ආදිය දිය මස් අනිවාර්ය ව්‍යංජන වේ.

අතීතයේ ගමේ නිවාස ගණනාවක් මෙය අනිවාර්යයෙන් සිදු කරන ලද පූජාවක් ලෙස තිබුණද වර්තමානය වන විට එය  අඹගස්වැව ග්‍රාමයේ එක් නිවසක  පමණක් වසරකට වතාවක් සිදු කරනු ලබයි. ඊට හේතුව වන්නේ ක්‍රමයෙන් ග්‍රාමීය ජනතාව හා ඔවුන්ගේ සංස්කෘතිය වෙනස්වීම නිසා පැරණි ඇදහිලි හා  විශ්වාස වෙනස්වවීම් වලට ඉක්මනින් භාජනය වන නිසාවෙනි.

අයියනායක දේව ඇදහිල්ල

සමාලෝචනය

වන්නි හත්පත්තුව ප්‍රදේශයෙහි පාරිසරික තත්ත්වය දැඩි වියළි ස්වභාවයක් සහ අවුරුද්දේ කකන්න දෙකට සැරයක් වර්ෂාපතනයක් ලැබෙන්නාවු ප්‍රදේශයකි. මේ නිසා මෙම ප්‍රදේශයේ පවතිනතින්නේ කෘෂිකර්මය මූලික කොටගත් ප්‍රධාන ආර්ථික ක්‍රමයකි.   මෙම ප්‍රදේශය තුළ ඓතිහාසික  යුගයේදී  පටන් කෘෂිකර්ම මූලික කොටගත් ග්‍රාමීය ජනතාවක් නිර්මානය වී තිබේ ඒ පිළිබඳ සාධක පූර්ව අයිති ඓතිහාසික යුගයේ ද මූල් ඓතිහාසික යුගයේ ද සහ මධ්‍යකාලීන යුගයට ද අයත්  වන්නි හත්පත්තුව ප්‍රදේශයෙන් පැහැදිලි  පුරාවිද්‍යාත්මක  සාධක හදුනාගත  හැකි වේ . මේ ප්‍රදේශය පුරා පැවති  වනගත කලාපයන් වෙනත් දේශගුණික හා පාරිසරික සාධකත් නිසා මෙම ජන ජීවිත වල දෛනික කටයුතුවලට වගේම කෘෂි කෘෂිකාර්මික කටයුතුවලට ද විවිධ බාධකයන් ගණනාවක්ම  නිතරම පවතින බව දක්නට ලැබේ. ඒ නිසා ඔවුන්ගේ තම දෛනික ජීවිතය හරියාකාරව කරගෙනයාම සඳහා හා තම ජීවිතයට එන බාහිර බාධක වල්ට විසඳුමක් ලෙස විවිධ අභිචාර විධි සහ දේව විශ්වාස වලට පෙළඹුණු බව නිගමනය කළ හැකිය මේ හේතුවෙන් මෙම ගැමියන්  ඊට අදාළ වන ආකාරයට දෙවියන් සදහා වන පුද පුජා  ජනතාව තුළ ඇති වූ බව සිතිය හැකි වේ  . දැනට වුවද  අයියනායක දේව ඇදහිලි හා බත් මාලාව පවත්වන එම ග්‍රාමීය ප්‍රදේශය වල ප්‍රධාන ජීවනෝපාය හා ජන ජීවිතය බැඳී පවතින්නේ කෘෂිකාර්මික ජිවිතයක්  සමග වේ. ඔවුනට ඇති  ප්‍රධාන බාධාවක් නම් වනසතුන්ගෙන් තම දෛනික කෘෂිකාර්මික ජීවිතයට සහ ප්‍රධාන ජිවනොපයට  දැඩි ලෙස වන බාධා කිරීම් ය . එසේම කලට වෙලාවට වර්ෂාව අපේක්ෂා කිරීම ද මෙම ජනතාව කර ඇති තවත් විශ්වාසයකි. තම ජන ජීවිතයේ පවතින මෙවැනි  බාධක හා අපේක්ෂාවලට ඔවුන්  සිදු  කරන්නේ තම දේව විශ්වාසවලට පුදපූජා කිරීම  හා දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමයි. මෙවැනි හේතු නිසා බත් මාලාව ශාන්තිකර්මය හා අයියනායක දේව විශ්වාසය වන්නි හත්පත්තුවේ ග්‍රාමීය ජනතාව අතර දැඩි ලෙස පිළිගැනීමට පාත්‍ර වූ බව නිගමනය කළ හැකිය.  දැනට වුවද වන්නි හත්පත්තුවේ අඹගස්වැව ග්‍රාමීය ජනතාව බත් මාලාව ශාන්ති කර්මය හා අයියනායක දෙවියන්ට පුද පූජා පවත්වන්නේ වාර්ෂික වර්ෂාපතනය හා කෘෂිකර්මික කටයුතු  සාර්ථක කරගැනීම සඳහා වූ අපේක්ෂාවෙනි  .මෙවැනි පාරිසරික කාරනා නිසා දමිළ දේව ඇදහිල්ලක් , මතු බුදුව වෙතැයි වන්නි හත්පත්තුවේ  සිංහල ගැමියන් විශ්වාස කරන අයියනායක දෙවියන් සිංහල බෞද්ධ ගැමියන්ගේ දේව ඇදහිල්ලක් ලෙස තම සිංහල දේව ධුරාවලියට බෞද්ධයකු බවට පත් කරගෙන වැද්දාගෙනන ගෙන ඇති බව මනාවට පැහැදිලි කරගත හැකිය. ඒ වගේම මෙය ඔවුනගේ ගැමි සංස්කෘතික විශ්වාසයන්ට අනුකූලව වෙනත් ආගමික සංස්ථාවක සංස්කෘතික ලක්ෂණයක් සංකලනණය කර ගන්නා ආකාරයට වූ අපූරු නිදසුනක් ද වේ.

ඒ . එච් . එම් ජනක මහේෂ් අතපත්තු

ආශ්‍රිත ග්‍රන්ථ

1 දිසානායක මුදියන්සේ, 2014,වන්නියේ දෙවි දේවතා සම්භවය හා ව්‍යාප්තිය ,ගොඩගේ ප්‍රකාශන,මරදාන

2  සිංහල විශ්වකෝෂය- 1 ඛණ්ඩය, 1998   ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,කොළඹ

3 ධර්මදාස ,කේ, එන් , 1994   ,ඕ – සිංහල දේව පුරාණය – රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, කොළඹ

4 බෂාම් ඒ,එල් ,2000,අසිරිමත් ඉන්දියාව,අධ්යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,කොළඹ

5 Krisan, Shasthri H, 1986,Sout Indian God and Godesess , Archaeological Survay of India ,New Dilhi

6  * කේ.එම් උක්කු බණ්ඩා මහතා සතුව පැවති බත් මාලාව ශාන්තිකර්මයේ දී ගැයෙන කෝල්මුර  කවි රැගත් අත්පිටපත

*බත් මාලාව ශාන්තිකර්මය සහභාගිත්ව නිරීක්ෂණය මගින් අධ්‍යයනය කළ අතර අඹගස්වැව ගම්මානයේ වෙසෙන හැත්තෑ තුන්වන වියේ පසුවන කේ.එම් උක්කු බණ්ඩා මහතා සමග සම්මුඛ සාකච්ඡා මගින් ද මිට අදාල දත්ත ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති පැරණිතම රන් සන්නස

පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති පැරණිතම රන් සන්නස වේ. මෙය‌ කොළඔ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති පැරණිතම රන් සන්නස
ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති පැරණිතම රන් සන්නස

ක්‍රි.ව. පළමුවන සියවස
රන්
දිග – සෙ.මි – 10.1, පළල – සෙ.මී 4.2,
බර – ග්‍රෑම් 5
වල්ලිපුරම්, වඩමාරච්චි කොට්ඨාශය, යාපනේ දිස්ත්‍රික්කය

1936 දී සොයා ගන්නා ලද මෙම රත අපර බ්‍රාහ්මී යුගයට අයත් අක්‍ෂරවලින් ලියා ඇත. වසභ (ක්‍රි.ව. 65 – lll) රජුන්ගේ ඉසිගිරිය නම් අමාත්‍යවරයා විසින් නාගදීපය පාලනය කරමින් “බදකර” නම් ස්ථානයේ පියගුක තිස්ස නමින් බෞද්ධ විහාරයක් කළ බව මෙහි සඳහන් වේ. ක්‍රි.ව. පළමුවන සියවස තුළ යාපනය දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරයක්ව ති බවටත්, මෙම ප්‍රදේශය වසභ රජු යටතේ පාලනය වු බවටත් මෙම ලේඛනය මගින් තහවුරු වේ. තව ද ක්‍රි.ව. පළමුවන සියවස තුළ ශ්‍රි ලංකාවේ පැවති අක්‍ෂර සහ භාෂාව පිළිබඳව දැන ගැනීමට ද මෙම ලේඛනය වැඳගත්සාක්ෂියකි.

විස්තරය – කොළඔ ජාතික කෞතුකාගාර

 

දුහතර කුමරු පිදූ ලෙනගල ලෙන් විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කය ලෙන් විහාර රාශයකින් යුක්ත පෙදෙසකි. ක්‍රි. පූ. තුන්වන සියවසේ ලංකාවට බුද්ධාගම ලබුණු සමයේ සිටම මෙහි වනගත ලෙන් කටාරම් කොටා පිළියෙල කර  භික්ෂුන් වහන්සේට බවුන් වැඩීමට පිදූ බව ප්‍රදේශයෙන් හමුවන සෙල්ලිපි රාශියකින් පැහැදිලි වෙන කරුණකි. ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් ගොඩබට ආර්යයන් මහඔය, කැලණි ගඟ හා ඒවායේ අතු ගංගා ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගැනීම ලෙනගල, සල්ගල, යටහලෙන, රන්වල, මාම්පිට යන ස්ථානයන්හි ඇති සෙල්ලිපිවලින් හෙළිවන බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පෙන්වා දී තිබේ(සිරිසෝම ඇම්. එච්.- 1990: 6 පිට) වැඩි දෙනෙක් දන්නේ දනකිරිගල, වාකිරිගල, දෙවනගල වැනි ස්ථාන පමණක් වුවත් කවුරුත් දැකබලාගත යුතු හතර කෝරළේ විශාලම ලෙන  තිබෙන පුරාණ  රජමහා විහාරය වශයෙන් ලෙනගල වැදගත් වේ.

ගමන් මඟ

ලෙනගල ලෙන් විහාරය පිහිටා තිබෙන්නේ  සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුගොඩ ඔය නිම්නයේය. පුරාණ බෙදීම් අනුව බෙලිගල් කෝරළයේ නැගෙනහිර කීරවැලි පත්තුවට අයත්ය. හතරකෝරළේ කඳුවැටිවලින් එන දිය දහරින් පෝෂණය ලබන ගුරුගොඩ ඔය කැලණි ගඟේ ශාඛාවකි.  වරකාපොළින් කරවනැල්ල මාර්ගයේ පැමිණ අනතුරුව ගලපිටමඩින් කොටියාකුඹුර මාර්ගයෙන් ගමන් කරමින් විහාරයට ළඟා විය හැකිය. වරකාපොළ නගරයේ සිට ඒ වෙත දුර කි. මී. 15ක් පමණ වේ. නුවර පාරේ නෙලුන්දෙනිය හන්දියෙන් හැරී ගලපිටමඩට පැමිණීමෙන් ද මේ විහාරයට පැමිණිය හැකිය.  මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ බටහිර හෙල්වැටි කලාපයේ කඳුවැටි ආශ්‍රය කරගෙන පිහිටි විහාරයකි (සංඝරතන හිමි, මෙඩේරිගම: 2002 – පිට12) මෙම විච්ඡින්න කඳුවැටි අතිරින් කැලණි ගඟේ සහ එහි ශාඛා ගලාබසී. ඒ අතර නිම්නය සරුසාර කරන අතර විටෙක ගංවතුර තර්ජන ද ඇතිකරයි. මෙම හෙල්වැටි බටහිරින් සීඝ්‍ර බෑවුමකින් ද නැගෙනහිර මඳ බෑවුමකින් ද යුක්ත වේ. ගුරුගොඩ ඔය නිම්නයේ සිට ඉහළට ඇදී යන කඳු ප්‍රාකාරය විහාරයට පිටුපසින් පිහිටි කොණ්ඩගල කන්ද මුදුනේදී ප්‍රදේශයේ උසම ස්ථානය බවට පත්වේ. අඩි 1100ක් උස කඳු මුදුන් කිහිපයක් ම අවට පැතිර තිබේ. ලෙනගල, පහළ  ලෙනගල, පහළ මායින්නොලුව, පරදෙනිය, පල්ලේපැල්පිට, උඩ පැල්පිට, දික්වාන, ආදී ගම්මාන විහාරය වටා පැතිර තිබෙන අතර පුරාණයේ පටන්ම මේ ගම්මානවල කෘෂිකාර්මික ජනතාවක් ජීවත් වූ බවට සාධක පවතී. මේ අතර පිහිටි ගල් පර්වත බහුල උස්බිමක ලෙනගල රජ මහා විහාරය පිහිටා තිබේ.

විහාරයට නුදුරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පරදෙනිය රක්ෂිත වනය දැකගත හැකිය. (විජයවර්ධන, කුසුම්සිරි : 2014, 52 පිට)

අලංකාර ලෙන් විහාරය

ලෙනගල
ලෙන් විහාරය

විශාල පර්වතයක කටාරම් කොටා සකසා ඇති ලෙනගල විහාරය ඉතා සුන්දර තැනකි. එය කෑගල්ල දිසාවේ විශාලම ලෙන් විහාරය වශයෙන් සැලකේ. මේ ලෙන මුලින්ම සකස් කර භික්ෂූන් වහන්සේට පූජා කර ඇත්තේ වළගම්බා රජු බවට ජනප්‍රවාද පැවසුවත් එය ඔප්පු වන ඓතිහාසික සාධක නොමැත.

විහාර මන්දිරය පිහිටි ප්‍රධාන ලෙනට අමතරව කටාරම් කෙටූ තවත් ලෙන හතක් විහාර බිමේ පිහිටා තිබේ. කඳු බෑවුමේ විවිධ උස් මට්ටම්වල  පිහිටි  එම ලෙන් කැලෑවට යටවී පවතින බව අපට දැකගැනීමට ලැබුණි. දැනට භාවිතයට ගන්නේ විහාර මන්දිර ලෙන පමණි.

එච්.සී. පී. බෙල්ගේ 1892 කෑගල්ල පුරාවිද්‍යා වාර්තාවේ ලෙනගල විහාරය පිළිබඳව තරමක් සවිස්තරාත්මක විස්තරයක් සඳහන් වේ:

පිහිටීම සහ දර්ශනීයත්වය අතින් වෙනත් විහාරවලට වඩා මෙය ශ්‍රේෂ්ඨය. කඳු බෑවුමේ පහළ සිට අඩි 100ක් පමණ ඉහළ නැගි පර්වතයකි. එම ගලේ බිම සිට අඩි 55ක් උසින් මුළු වාටිය දිගේම ගැඹුරට කටාරම් කොටා තිබේ. එය එදා බොහෝ වෙහෙසකර කාර්යයක් වූවාට සැක නැත.  ගල්ලෙනෙහි විශාල ඉඩකඩ නිසා එක පෙළට විහාර තුනක් ඉදිකර තිබේ ( Bell, H.C.P.  : 1892 , p 30 ) .

විහාරයේ ගල් කටාරම ඇත්තේ පොළොව මට්ටමේ සිට වැඩි උසකින් නිසා එය කැපීමට එදා ගල්වඩුවා විඳි දුෂ්කරතාව ගැන සිතන විට අප සිත් අදත් පුදුමයට පත්කරවයි. පසුකාලීනව ලෙන් විහාර ගොඩනැගිල්ල ඉදිරිපසින් දෙමහල් කොටසක් ඉදිකර  පොත් ගුලක් තනා තිබෙන අතර එය පෞරාණිකත්වයට යම් හානියක් සිදුවූ අවස්ථාවකි. 1922 දී වේරකේ සිරිනිවාස හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණයක් කළ බව සඳහන් වන අතර මේ පොත්ගුල ඒ කාලෙ හදපු එකක් විය හැකියි. බෙල් සිය වාර්තාව ලියන විය එවැනි නවීකරණයක් සිදුව තිබුණේ නැත.

ප්‍රධාන ලෙන් විහාර ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ අඩි 5ක් පමණ උසැති කළුගල් වේදිකාවක් මතයි. මහා විහාරය, සත්සති විහාරය, සහ චෛත්‍ය විහාරය යනුවෙන් විහාර තුනක් එම ලෙන තුළ සකස් කර තිබේ. මේ විහාරවලට නම් තබා තිබෙන්නේ මෑතකදීය.

ගල්ලෙනෙහි විශාල ඉඩකඩ නිසා එක පෙළට එම විහාර තුනක් ඉදිකිරීමට තරම් අවකාශයක් ලැබී තිබේ. ඒවායේ ප්‍රධාන වශයෙන් වරිච්චි මැටි බිත්ති තිබෙන අතර සමහර තැකන ගලින් ද බැඳ තිබේ. මේ බිත්ති අඩි 27ක් ඉහළ දී නෙරා ඇති ගල්පර්වතවලට යාවේ. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස දිගින් අඩි 66කි. විහාරය වෙන් කරන බිත්ති පර්වතයට සෘජු කෝණාකාරව ඉදිකර තිබේ. එහි වහලයට ඉහළින් ගල් කටාරමට යටින් ගල් සිවිලිමේ පෙරහරක රූ සටහනක් දැක්වේ. එහි වර්ණය මඳක් බොඳවී ගොසිනි. කොඩි අතින් ගත්තෝ සමඟ ඇතුන් පිට යන්නෝද අසුන් පිට යන්නෝද එහි ගමන් කරති. පස්මහල් රථයක ධාතු කරඬුවක් වැඩම කරවති. විහාරයට මෑතකදී තීන්ත ආලේප කළ මුත් වාසනාවකට මෙන් මෙය ඉන් බේරී ඇත. ( Bell, H.C.P.  : 1892 , p 30 ) නමුත් බෙල් 1892 දී දුටු එම සිතුවම පසුකාලීන අලුත්වැඩියාවලදී හෝ ස්වභාවික හේතු නිසා හෝ අද මැකීගොස් තිබේ. එවැන්නක් තිබුණු බවට සේයාවක් වත් හඳුනාගත නොහැකිය.

විහාරයේ ගල් කටාරම ඇත්තේ වැඩි උසකින් නිසා විහාර බිත්ති ද උසින් වැඩිය. බෙල් සඳහන් කරන්නේ 1879- 80 කාලයේ දී මෙහි සිතුවම් සහ මූර්ති අලුත්වැඩියාවට ලක්ව තිබූ බවයි. අද අපට දකින්නට ලැබෙන්නේ ඊටත් පසු කිහිප වරක් අලුත්වැඩියාවට ලක්වූ සිතුවම් සහ මූර්ති ය.

මහා විහාරය පළලින් අඩි 31ක් ද දිගින් අඩි 15ක් ද වේ. උඩරට සම්ප්‍රදායේ සිතුවම් එහි දැකගත හැකි වුවත් ඒවා පසුකාලීනව අලුත්වැඩියාවට ලක්වූ ඒවාය. බොහෝවිට අවුරුදු 100කට පමණ පෙර අලුත්වැඩියාවට ලක්වන්නට ඇත. ඇතුළු විහාර ගැබට පිවිසීමට ඇති කළුගල් උළුවස්ස අගනා කලාත්මක නිර්මාණයකි. සිංහ මුහුණු, කිඹිහි මුහුණක්, පලාපෙති සහ ලියවැල් කැටයම් සහිත එය මහනුවර යුගයෙන් එපිට කාලයකට අයත් විය හැකි බවට මත පළවී තිබේ.

සියලුම බුද්ධ ප්‍රතිමා මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරයි. ලෙන තුළ පිහිටි සැතපෙන පිළිමය දිගින් අඩි 29කි. සැතපෙන පිළිමයට ඉදිරිපස බිත්තියේ මකර තොරණ යට විෂ්ණු දේව ප්‍රතිමාවකි. සැතපෙන පිළිමය පිටුපස දේවාරධානාව දැක්වෙන අගනා සිතුවමක්ද දැකගත හැකිය. ප්‍රතිමාව ඉදිරිපස ඇති පුරාණ මැටි පහන ද උඩරට යුගයට අයත් කළ හැකි වටිනා පුරාවස්තුවකි. දනකිරිගල විහාරයෙන් හමුවූ මෙවැනි මැටි පහන් කිහිපයක් මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

ලෙන් වියන තීරුවලට බෙදා සූවිසි විවරණය ඇඳ තිබේ. ඊට අමතරව නෙළුම් මල් මෝස්තර වලින් ද වියන අලංකාර කර තිබේ.  වම් පස බිත්තියේ හිටි බුදු පිළිමයක් ද දැකගත හැකිය.   දකුණු බිත්තියේ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ ප්‍රතිමා සහිතව තවත් බුද්ධ ප්‍රතිමාවක් ද පිහිටා තිබේ.

මෙම විහාර ගර්භයට යාබදව පිහිටි සත්සති විහාරය දිගින් අඩි 16ක් ද පළලින් අඩි 12ක් ද වේ. මෙහි සත්සතිය මූර්තිමත් කර ඇති නිසා ඒ නම ලැබී තිබේ. මෙම විහාරය පැරණි ලෙනෙහි කළ නූතන ඉදිකිරීමකි. 1892 දී සත්සති විහාරයක් තිබී නැති අතර හිඳි බුද්ධ ප්‍රතිමාවක් තිබූ බව බෙල් සඳහන් කර තිබේ. එකල බිත්ති සරසා තිබී ඇත්තේ ධර්මපාල ජාතක සිත්තම්වලිනි. මෑත අතීතයේ දී කළ  අලුත්වැඩියාවක දී පැරණි චිත්‍ර හා මූර්ති ඉවත්කර සත් සති මූර්ති අඹා තිබේ.

ලෙනගල
බිතුසිතුවම්
ලෙනගල
වියන් සිත්තම්- සූවිසි විවරණය

විහාරයට ඇතුළුවීමට ඇත්තේ පුරාණ කළුගල් උළුවස්සකි. ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ සිංහල උළුවහු කෘතියේ ඒ ගැන වර්ණනා කර තිබේ. එම උළුවස්ස උසින් අඩි 7 අඟල් 2ක් වන අතර පළල අඩි 5 අඟල් 4කි. හරස්කඩය හා උළුවහු කණු දෙක වෙනම ගල්වලින් තනා එකට වද්දා ඇත. උළුවහු කණු දෙකේම පහත කොටසේ ආයත චතුරස්‍ර කොටුවක් තුළ සිංහයකු කැටයම් කර ඇත. ඉදිරිපස කකුල් ඔසවාගෙන සිටින සිංහයාගෙන් ඉහළට යන තීරුවල රූකම් පේළිය. පලාපෙති රටා තුනක් ද ලියවැල් රටාවෙන් ද මෙය සරසා තිබේ. හරස්කඩයේ ද එම මෝස්තරම දිව යයි (ගොඩකුඹුරේ, චාල්ස්: 1982, පිට 10)

මෙහි තුන්වැනි විහාරය තුළ මෑතකදී ඉදිකළ දාගැබක් ද ලෙව්කේ දිසාවගේ නූතන මූර්තියක් ද දක්නට ලැබේ. මෙම විහාරය 1956 දී කළ බව සඳහන් ය(අභයවර්ධන, එච්. ඒ. පී.: 2002 , පිට 66)

ලෙනගල
ගල්උළුවස්ස- චාල්ස් ගොඩකුඹුරට පසුව- 1982

දිගම බ්‍රාහ්මි සෙල්ලිපිය

ලෙනගල රාජමහා විහාරයේ විශාල බ්‍රාහ්මී සෙල්ලිපිය දිස්ත්‍රික්කයේ දිගම සෙල්ලිපිය ලෙස ද හැඳින්වේ. එය පොළොව මට්ටමේ සිට අඩි 30ක් උසින් විහාර ලෙනේ කටාරමට යටින් කොටා තිබේ. අක්ෂර ප්‍රමාණය 70කි.  ලිපියේ කොටසක් විහාරයේ බිත්තිවලට යටවී ඇත. වැසුණු කොටස බතස යනුවෙන් පරණවිතාන නිගමනය කර පරිවර්තනය ඉදිරිපත් කර තිබේ. මෙය කැපී පෙනෙන තැනක කොටා තිබෙන නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැකගත හැකියි.

සෙල්ලිපියේ පෙළ :

අය දුහතර පුත අය ශිව පුත අය දුහතරහ ලෙනෙ මනපදශනෙ නම අගත අනගත චතුදිශ ශගශ දිනෙ

අනුදිමහි අයික පටකෙ බතස නගරසි අයික පටකෙ

එහි අරුත මෙසේයි:

දුහතර කුමාරයාගේ පුත්‍රයා වූ ද සිව කුමාරයාගේ පුත්‍රයා වූ ද දුහතර කුමාරයට අයත් මනාපදස්සන ලෙන පැමිණි නොපැමිණි සිව්දිග  සංඝයාට පූජා කරන ලදී. එක ඉඩම් කොටසක් අනුදි ගමේය. එක කෙටසක් බතස නගරයේය (Paranavithana.  1970: p. 60 )

පළමු පේළියේ විශාල අක්ෂර 47 ක් ඇති අතර තවත් අක්ෂර කිහිපයක් අඩි කිහිපයක් පහළින් පේළි 2 කින් කොටා එක්කර තිබේ. මුළු අක්ෂර සංඛ්‍යාව 70කි. අක්ෂරයක් අඟල් 7 ක් පමණ උස වන අතර පර්වතයේ අඟල් 1 ක් ගැඹුරට කොටා තිබේ. මෙම සෙල්ලිපිය ක්‍රි. පූ. 2-1 සියවසට අයත් ලේඛනයකි. ක්‍රි. පූ. යුගයේ බෙලිගල් කෝරළයේ පැවති දුහතර නම් කුමාරයකුගේ ප්‍රාදේශීය පාලනයක් ගැන ඉඟි මේ සෙල්ලිපියෙන් පැවසේ. දුහතර කුමාරයා ගැන සඳහන් සෙල්ලිපියක් කෑගල්ල යටහලෙන විහාරයෙන් ද හමුව තිබේ. මෙහි සඳහන් අනුදි ගම සහ බතස නගරය මේ අවට ක්‍රි. පූ. යුගයේ පිහිටා තිබූ ස්ථාන නාම බව පැහැදිලි වන අතර අද ඒවා හඳුනාගත නොහැකිය.

දාගැබක් සහ බෝධි වෘක්ෂයක් ද ලෙනට නුදුරින් පිහිටා තිබේ. ලෙනට පිටුපසින් ඇදී යන්නේ කඳුවැටියට බද්ධ වූ වනපෙතයි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

විජයවර්ධන, කුසුම්සිරි  -රජමහා විහාරාරාම, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ,  2014

Paranavithana – Inscriptions of Ceylon  – Vol. 1. Department of Archaeology, 1970

Bell, H.C.P. – Report On The Kegalle District – 1892,  reprint 1990 Department of Archaeology

සිරිසෝම, ඇම්. එච්. – ශ්‍රී ලංකාවේ පැරණි බ්‍රාහ්මිය සෙල්ලිපි – අභිලේඛන, සංස්. විජේසේකර, ආචාර්ය නන්දදේව, පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථ මාලා දෙවන වෙළුම,  1990

සංඝරතන හිමි, මෙඩේරිගම- කෑගල්ල භූ විද්‍යාත්මක පසුබිම– කෑගලු විත්ති සමාජසංස්කෘතික විමර්ශන, සංස්. ජී. ආර්. ගුණවර්ධන බණ්ඩා, ඊ. ඒ. ඒ. එදිරිසිංහ, කෑගල්ල දිසාපති කාර්යාලය 2002

ගොඩකුඹුරේ, චාල්ස් -සිංහල උළුවහු , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ 1982

අභයවර්ධන, එච් ඒ. පී. – සබරගමුව ප්‍රවේණිය, සබරගමුව සංවර්ධන බැංකුව 2002

සේයාරූ- කුසුම්සිරි විජයවර්ධන