Home Blog Page 4

අපේ කාලයේ මා දුටු ප්‍රාඥයෙක් : ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල

කාලය වර්ෂ 2000 හෝ ඒ ආසන්න වසරක් විය යුතු ය. පුවත් පත් කර්තෘ ජානක ලියනආරච්චි විසින් ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගලයන්ගේ දැනුම සංග්‍රහ කරමින් එවකට ජනප්‍රිය සති අන්ත පුවත්පතක් වූ ඉරිදා දිවයින සංග්‍රහයට සපයන ලද ලිපි කීපයක් මාලාවක් වශයෙන් පළ විය. ඒ වන තෙක් වෙනත් විෂය පරාසයන් වෙත ආකර්ශනය වී සිටි මා පුරාවිද්‍යාව වෙත ආශක්ත කිරීමට මෙම ලිපි පෙළ හේතු වූ වූවාට සැක නැත. තවත් අතකට මා පුරාවිද්‍යා විෂය හැදෑරීම සඳහා යොමුකිරීමට ආසන්න වශයෙන් හේතුභූත වූ ප්‍රස්තුත ධාරණා ද්වයෙන් එකකි ඒ. පුරාවිද්‍යාව වනාහි ගල්කණු, ගඩොළු හා වෙනත් පෞරාණික සම්භාව්‍ය දෑ පිළිබඳ ව හදාරණ විෂයක් බව සිතා සිටි මා හට එකී කරුණු සහේතුක ව වෙනස් කර ගැනීමට අවශ්‍යය ජීවය සැපයු එක් ධාරණාවක් වූයේ නවීන පුරාවිද්‍යා දැක්මකින් සන්නද්ධව ඉදිරිපත් වූ එකී ලිපි මාලාවයි. ආචාර්ය සිරාන් දැරණියගලයන් ශාස්ත්‍රීය ලෝකය තුළ දී මා සම්මුඛ වූ නැතිනම් අත්දුටු ආසන්න අවස්ථාව මෙම ලිපි පෙළයි.

අපේ කාලයේ මා දුටු ප්‍රාඥයෙක් : ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල
මා හා ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ – ඡායාරුපය ජයන්ත ශ්‍රි ලංකාවේ රජරට ව්ශ්වවිද්‍යාලය

එයින් ඉක්බිති, මා විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයෙකු වශයෙන් පුරාවිද්‍යා විෂය හදාරණ සමයේ දී එතුමාණන් ගේ දැනුමේ පහස ලැබූ ලේඛන පරිශීලනය කිරීමට අවස්ථාව උදා විය. ව්‍යවහාර වසරින් 2006න් අනතුරු ව, නොයෙක් අවස්ථාවන්හි දී එ තුමා දැක බලාගැනීමත්, නේක ශීර්ෂ ඔස්සේ විවිධ ස්ථානවල දී සිදුකළ දේශන ආදියට සවන් දීමටත්, අවස්ථාව උදා වුවත් ආචාර්ය සිරාන් දැරණියගලයන් සමීප වශයෙන් ඇසුරු කිරීමට අවස්ථාව උදා වූයේ 2013 වසරෙන් පසුව විය යුතු ය. එම සමීප ඇසුරු ලැබීමට පූර්වයේ සිට විවිධ ලේඛන හරහාත්, එතුමන්ගේ ඍජු සිසුන් වශයෙන් හැඳිනිය හැකි ආචාර්ය එච්. නිමල් පෙරේරා හා ප්‍රවීන කැනීම් ශිල්පී ඇල්ෆ්‍රඩ් ඩි. මැල් වැනි මහත්වරුන් හරහා එතුමා සතු දැනුමේ විවිධ පැති ස්පර්ශ කිරීමට මට අවස්ථාව උදා වී පැවතිනි. 2013 වසරින් පසු ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් ආචාර්ය දැරණියගලයන්ගේ අධික්‍ෂණය සහිතව ඔහු සමීපයේ කටයුතු කිරීමට ලැබීම හේතුවෙන් එතුමාගේ සතු විශිෂ්ට ඥානයත්, පිරිසිද ගත් දැනුමත් සමීප වශයෙන් අද්දැකීමට අවස්ථාව උදා විය. දීර්ඝ කාල පරාසයන් තුළ අතී සමීප ආකාරයෙන් ඇදී ගිය මේ සාකච්ඡා තුළ දී ශාස්ත්‍රීය ලේඛන තුළින් තමා කිසි දා විෂධ කිරීමට අපේක්‍ෂා නොකළ විවිධ විෂයීය දැනුම අප වෙත මුදා හැරුනේ නිස්සරණාධ්‍යාශයෙනි. අප විසින් මේ දක්වා උපයා ගෙන ඇති දැනුම කෙතරම් පටු පරාසයක දිවෙන්නක් ද යන්නත්, විශ්වවිද්‍යාලයීය ප්‍රජාව නියෝජනය කරන අප විසින් අත් කරගත යුතු ශාස්ත්‍රාලීය පරිචය කෙතරම් ගැඹුරු, පුළුල් හා දුරුතර වූවක් ද යන්නත් නැවත නැවතත් පසක් කිරීමට සමත් විය.

අපේ කාලයේ මා දුටු ප්‍රාඥයෙක් : ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල
ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල හා ශ්‍රි ලංකාවේ රජරට ව්ශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් – ඡායාරුපය ජයන්ත ශ්‍රි ලංකාවේ රජරට ව්ශ්වවිද්‍යාලය

යටත්විජිතවාදි සමයේ මෙරට වාසය කළ ප්‍රභූ පරම්පරා ද්විත්වයක එකතුවකින් නිර්මාණය වූ ආචාර්ය සිරාන් දැරණියගල විද්වතුන් ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රීය පරපුරක උත්පාදනයක් ද වූ බව කවුරුත් දන්නා දෙයකි. මෙරට, අපරදිග මෙන් ම පෙරදිග කලාපීය රටවල ප්‍රමුඛ පෙලේ විද්වතුන් ඇසුරේ හැදී වැඩුණු ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගලයන් සෑම අතින් ම පරිපූර්ණ විද්වතෙකු යැයි කිවහැකි ප්‍රාඥයෙකු පමණක් නොව ස්ව ධර්මය මත පිහිටියා වූ ද අනන්‍ය වූ ද දර්ශනයකට හිමිකම් කියන්නෙක් ද වෙයි. මෙරට ප්‍රාග් ඉතිහාසය මෙන් ම පූර්ව ඉතිහාසය ලෝක මට්ටමට ඔසවා විවරණය කළ මෙම ශාස්ත්‍රවන්තයා භාරතීය මහා සංස්කෘතිය පරයා, ලක්දිව සම්ප්‍රදාය විශ්වීය මට්ටමින් ඔසවා තැබීමට සමත් වූ බව මාගේ හඳුනා ගැනීමයි. විද්වතුන් යැයි සැලැකෙන බොහෝ අය තම ඊනියා විද්වත්බව හා ඊනියා පණ්ඩිතමාණි බව ප්‍රකාශ කිරීමට උත්සාහ දරනුයේ පවත්නා, ස්ථාපිත සමාජ අභිමතාර්ථයන් හා සම්මතයන් කඩා විසුරුවා දැරීමට දරන භ්‍රෂ්ට උත්සාහයන් තුළිනි. නිශ්චිත හා ප්‍රමාණවත් හේතු සාධකයන්ගෙන් තොරව මෙකී දෑ සිදුකිරීමට උත්සාහ දැරීමෙන් ඇති විහිළු සහගත බව අනාවරණය වේ. ආචාර්ය සිරාන් දැරණියගලයන් තම විධිමත් හා විශිෂ්ට පර්යේෂණ තුළින් මෙරට මහා ජන සම්ප්‍රදාය වූ මහාවංස සම්ප්‍රදායත් එහි යථාවත් බවටත් දක්වා ඇති සප්‍රමාණාත්මක හා ධනාත්මක ධාරණා ඔහු විසින් මෙරට ජාතිකවාදි ශාස්ත්‍රාලීය සම්ප්‍රදාය වෙත ලබා දී ඇති අවංක හා නිර්භය ප්‍රකාශනය පිළිබඳ හොඳම උදාහරණය වශයෙන් සැලකීමට මා කිසි විටෙක පසුබට නොවෙමි.

1977 සමාජ ආර්ථික විවෘතභාවයෙන් පසු උපන් පරපුර නියෝජනය කරන අප, පෙරදිග සම්ප්‍රදාය විසින් බිහිකළ හා ද්විභාෂික මහා ප්‍රාඥයන් මහා විද්වතුන් පිළිබඳ ව ශ්‍රැති මාත්‍රයෙන් පමණක් දත්, එවැන්නන් ඇසුරු කිරීමේ අවස්ථාව අවම වූ පරපුරක් බව බොහෝ දෙනාගේ ඇදහීමයි. මෙවන් වටපිටාවක වුවත් විශිෂ්ට විද්වතුන් යැයි ගිණිය හැකි කිහිප දෙනෙකු ඇසුරු කිරීමේ දුර්ලභ වාසනාව හිමි වූවෙක් බව, මා සිහිපත් කරනුයේ නිහතමානි සතුටකිනි. එ වැනි විද්වතුන් අතරිනුදු ජාතිකවාදි දෘෂ්ටියකින් හෙඹි අතළොස්ස අතරට අයත් වන විශිෂ්ට විද්වතෙක් වශයෙන් ආචාර්ය සිරාන් දැරණියගලයන් ප්‍රමුඛ වන බව මාගේ අවබෝධයයි. අතීතය පිළිබඳ පිරිසිඳගත් දැනුමත්, අනාගතය පිළිබඳ ඉමහත් අපේක්‍ෂාවත් පිළිබඳ අවබෝධයෙන් යුක්ත වුවත්, කිසිදු උත්කර්ශයකින් හෝ පශ්චාත්තාපයකින් තොරව වර්තමායේ පය ගසා ජීවත් වීමට සමතෙකු වීම එතුමාගේ පෞද්ගලික දිවියේ මා දත් විශිෂ්ට ම ලක්‍ෂණයකි. මා දැන සිටි හා සිටින මිනිසුන් දහස් ගණනාවක් අතරේ එවන් ලක්‍ෂණ සහිත තැනැත්තන් ඇත්තේ අල්ප ප්‍රමාණයකි.

පෙරදිග සම්ප්‍රදායත්, අපරදිග ශික්‍ෂණයත් මැනවින් අත්කරගත් මෙතුමාගේ ඤාණ දර්ශනයේ සංස්පර්ශය ජාතියක් වශයෙන් අප කෙතෙක් ලබාගෙන තිබේ ද යන්න පසු කාලීන හා තත් කාලීන විද්වතුන් විසින් නැවත සිතා බැලිය යුත්තකි. හුදු හිතලු ඉවත ලා, එවන් බුද්ධි ස්කන්ධයක සංස්පර්ශය නොලබා අලුත් අලුත් දෑ තනනා ජාතියක් වශයෙන් පුනරුත්තානය ලබන්නේ කෙසේ ද යන්න මේ අවස්ථාවේ දී අප විසින් බරපතල ලෙස නැවත නැවතත් සිතා බැලිය යුතු ය.

අප ජීවිත කාලය තුළ මාගේ චින්තයට කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කිරීමට සමත් වූ මිනිසුන් නොහොත් ගුරුවරුන් මා හට හමූ වී ඇත්තේ අල්ප වශයෙනි. ආචාර්ය සිරාන් දැරණියගලයන් කෙසේ පිළිගත්ත ද, මා කෙරෙහි බලපැවැත් වූ විශිෂ්ඨ ගුරුවරයෙකු වශයෙන් එ තුමා හඳුනාගැනීම කෙරෙහි මා සන්ථානයේ ඇත්තේ බෙහෙවින් පෙළඹී ගිය අපේක්‍ෂාවකි. අප අත්දුටු, අප කාලයේ මහා විද්වතෙක් මෙන් ම නිහඬ ප්‍රාඥයෙකු වූ ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල විද්වතාණෙනි, ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගි සුවයත් චිර කාලින ජීවනයත් පතමි.

(2021.10.05 වැනි අද දින ඔබ තුමාණන්ට එසේ පැතිය නොහැකිය. එබැවින් මෙසේ කියමි. ඔබ තුමා පැතූ අයුරින්ම අවසන් පැතුම් ඉටුවේවා. එහෙත් මාගේ පැතුම ඔබතුමා නිවන් සුව ලැබේවා යන්නයි.)

චන්දිම බණ්ඩාර අඹන්වල
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
2018.02.25 වැනි දින දී ය.

පොළොන්නරුව නිර්මිත පරිසරය තුළින් ඉස්මතුවන හින්දු ආගමික ගෘහ නිර්මාණ ශිල්පය

පොළොන්නරු යුගය ට අයත් විහාර, ගොඩනැඟිලි, මාළිගා මෙන්ම, අනෙකුත් ගෘහනිර්මාණයන්ගෙන් යුක්ත වූ පුරාණ නිර්මිත පරිසරය හුදෙක් ම පූර්ව මධ්‍යම සමයට අයත් ගොඩනැඟිලි කර්මාන්තයෙහි ඇති සැලැස්ම හා විශේෂාංග ලක්ෂණ මත පිහිටා ඇත. ඇතැම් තැන්වල දී පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය හා වෙනත් විදේශයන්ගේ ගෘහනිර්මාණ ආභාෂයෙන් මෙන් ම විලාශයන්ගෙන් ද සම්මිශ්‍රණය වූ බව පෙනේ.

පොලොන්නරුව ර්මිත පරිසරය
පොලොන්නරුව ශිව දේවාලය ඡායාරූපය – Travel Lanka Compass

පොළොන්නරුවේ පුරාණ නිර්මිත පරිසරය ගොඩනැඟීමේ දී උක්ත සඳහන් කළ පරිදි දේශීය මෙන්ම විදේශීය බලපෑමෙන් ද සංගෘහිත ව්‍යූහයක් තුළ ගොඩනැඟුණු බව ප්‍රකාශ කළ හැකිය. මුල් කාලීන නිර්මිත පරිසරය විමසීමේ දී ඉන්දීය ආභාෂය පිළිඹිබු වේ. එතෙකුදු වුව ද, ඇතැම් අවස්ථාවල දී ලාංකේය ගෘහනිර්මාණ ශිල්පීන් විදේශීය ආභාෂය ලබාගෙන ද කටයුතු කළ බව පෙනේ. කෙසේ වෙතත් අනුරාධපුර යුගය ට සාපේක්ෂව පොළොන්නරුව නිර්මිත පරිසරය තුළ වඩා වැඩි විදේශීය සබඳතා අනාවරණය කරගත හැකිය.

දකුණු ඉන්දීය දේශපාලන ඉතිහාසය තුළ ප්‍රභල වර්ධනීය තත්ත්වයක් උදාකර ගත් චෝළවරුන්ගේ පාලනය ට නතු වීමට ශ්‍රී ලංකාව ට සිදු විය. විශේෂයෙන් ම රජරට ශිෂ්ටාචාරය පැවති සමයේ දී වරින් වර බලයට පත් චෝළ ආධිපත්‍යය ට නතු වීමට මෙරට ට සිදු විය. විවිධ හේතු සාධක මත මෙරට දේශපාලනික, සමාජයීය, ආර්ථික, ආගමික හා සංස්කෘතික යන විවිධ ක්ෂේත්‍රයන් කෙරෙහි චෝළ ආධිපත්‍යය ව්‍යාප්ත විය. පොළොන්නරු යුගය ට අයත් හින්දු ගෘහනිර්මාණ ශිල්පය අතර කැපී පෙනෙන වාස්තුවිද්‍යාත්මක අංගයක්වන හින්දු දේවාල බහුතරයම පාහේ විද්‍යාමානිත වාස්තුවිද්‍යාත්මක ශෛලිය චෝළ සම්ප්‍රදාය යි. මෙය දක්ෂිණ භාරතීය ප්‍රභල සම්ප්‍රදායකි. මේ සම්බන්ධව පවතින පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනය කර බැලීමේ දී පෙනී යන්නේ එවකට පොළොන්නරුව රාජධානිය ව පැවති සමයේ දී මෙරට ආක්‍රමණය කළ බොහෝ චෝළ පාලකයන්ගේ ඍජු මැදිහත්වීම මත මෙලෙස චෝළ සම්ප්‍රදායානුකූලව වාස්තු අංග ඉදිවන්නට ඇති බව යි.

පොළොන්නරු යුගය ට අයත් හින්දු දේවාල නැතහොත් කෝවිල් ඇසුරෙන් දක්ෂිණ භාරතීය බලපෑම විස්තර කිරීම ට නම් හින්දු කෝවිලක් යනු කුමක් දැයි අවබෝධ කරගැනීම වැදගත් ය. ”කෝවිල” යන වදන තුළ ගැබ්ව ඇති අරුත් දේවස්ථානය යි. දෙවියන් උදෙසා වෙන් කළ ස්ථානය යන්න යි. මේ නිසා ඊට සම්බන්ධ අවශ්‍යතා උදෙසා වෙන් වූ සියලු තැන් මේ නමින්ම හඳුන්වන්නට ඇති අතර කෝවිල යන්නෙන් විශේෂයෙන්ම අරුත් ගැන්වෙන්නේ හින්දු ජනයාගේ පූජ්‍ය ස්ථානයයි. හින්දු කෝවිල ඉන්දියාවේ බිහිවී වර්ධනය වූ බව අවිවාදයෙන්ම පිළිගත හැකි කාරණාවකි. මන්ද යත් හින්දූන්ගේ මුල් නිජ භූමිය එය වූ නිසා ය. කෝවිලේ මූලික ආකෘතිය එදා සිට අද දක්වා විශාල වශයෙන් වෙනස් වී අතර යම් වෙනසක් සිදු වී නම් මුල්කාලීනව දේව ප්‍රතිමා තැන්පත් කළ ගර්භ ගෘහය හා වන්දනාකරුවන් උදෙසා වූ මණ්ඩපය යාකරමින් ඉදිවූ අන්තරාලය එක්වීම විය හැකිය. පළමුකොට ම බිහිවන්නට ඇත්තේ දේව මන්දිරය හෙවත් ගර්භ ගෘහය යි. පසුකාලීනව පැන නැඟුණු අවශ්‍යතා හා ගැටළු මත වන්දනා කරුවන් සඳහා මණ්ඩපය ද, ඊටත් පසුව අන්තරාලය ද බිහිවන්නට ඇත. බෞද්ධ චෛත්‍යය නිමවා ඒ ආශ්‍රිත ව මළුව ද, වටදාගෙය ද විවිධ විහාරාංග ද ක්‍රමයෙන් නිමවූ සේ, කෝවිලක මුඛ්‍ය අංග ලෙස පැවති ගර්භ ගෘහය, අන්තරාලය, හා මණ්ඩපය යන ඒවා අතර ට ගෝපුරයක් ද පසුකාලීනව එක්විය. පසුකාලීනව එක් වුවද, දැන් එය හින්දු ආගමේ සංස්කෘතිකාංගයක් හා විශේෂ ගොඩනැඟිල්ලක් බවට පත්ව ඇත.

භාරතීය හින්දු කෝවිල් නිර්මාණය ඉතා සුවිශේෂී වන නිසා එම කෝවිල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඉන් ශ්‍රී ලංකාවේ කෝවිල් නිර්මාණය කෙරෙහි බලපා ඇත්තේ දක්ෂිණ භාරතීය බලපෑමයි. උත්තර භාරතීය ක්‍රමය තුළ වටකුරු හිස සහිත ශිඛරයට වැඩි මනාපයක් දක්වා ඇති අතර පසුකාලීනව සිදුවූ මූගල් ආක්‍රමණයන්  හමුවේ මේ සම්ප්‍රදාය කිසියම් ආකාරයකට වෙනස් ආකෘති අංග වලට සම්මිශ්‍රණය වී ඇත. එහෙත් දකුණු ඉන්දීය තත්ත්වය මීට වඩා වෙනස් ය. චෝළ, පල්ලව, පාණ්ඩ්‍ය හා චාලුක්‍ය යන දක්ෂිණ භාරතීය රාජධානි හා ඒවායේ පාලකයන්ගේ අනුග්‍රහයන් යටතේ වර්ධනය වූ වාස්තුවිද්‍යා අංග අතර හින්දු කෝවිල ද මේ දක්ෂිණ භාරතීය ක්‍රමයේ දී කෝවිල් ශිඛරය තරමක් පිරමීඩාකාර ස්වභාවයට සමීප විය. දැනට ඉතිරිව ඇති කෝවිල් වල ද දැකගත හැක්කේ මේ හැඩයයි. ක්‍රිස්තු වර්ෂ 06 වන සියවසට පසු කෝවිල් ඉදිකිරීම තවදුරටත් වර්ධනය විය. මාමල්ලපුරම් හා කාංචිය මූලික කරගනිමින් මේ තත්ත්වය ඇති විය.

චෝළයින් විසින් ලංකාවේ උතුරු ප්‍රදේශයේ දේශපාලන බලය අල්ලා ගන්නවාත් සමඟම දිවයිනේ හින්දු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඉතිහාසය තුළ නව පරිච්ඡේදයක් ආරම්භ වේ. එපමනක් නොව පොළොන්නරුවේ ගොඩනැඟිලි බොහොමයක් බෞද්ධ ගොඩනැගිලි වුවත්, මෙකල හින්දු ආගමික බලපෑම මත ද ගොඩනැගිලි ඉදි විය. චෝල පාලන සමයේ දී ලංකාවේ හින්දු දේවාල රාශියක් ඉදි කෙරුණු අතර ඊට බලපෑ ප්‍රධානතම සාධකය වූයේ ශිව හා විෂ්ණු දෙවියන් අදහන හින්දු බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමයි. ඒ අනුව හින්දු සමාජයේ ප්‍රසාරණය වීමත් ඔවුන්ගේ ආවේණිකත්වය නිර්මිත පරිසරය කෙරෙහි සෘජුව පෑම් එල්ල වීමත් මේ අනුව සිදුවිය.

පොළොන්නරුවේ කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ හා කැණීම් මඟින් චෝළ සම්ප්‍රදායට අයත් ශිව හා විෂ්ණු දේවාල කිහිපයක් සොයාගෙන ඇත. මේවා අතරින් ශිව දේවල හතරක් දැනට හඳුනාගෙන ඇති අතර අංක 2 දරන ශිව දේවාලය වඩාත් හොඳින් ආරක්ෂා වී ඇති දේවාලය මෙන්ම චෝල ග්‍රහණයට නිශ්චිතවම දින නියමය කළ හැකි දේවාලය ලෙස ද හඳුන්වා දිය හැකිය. මීට අමතරව පොළොන්නරුවේ ම විෂ්ණු දේවාල පහක් ද සොයාගෙන ඇත. ඒ අනුව පොළොන්නරුවේ විෂ්ණු දේව (වෛශණවම්) ඇදහිල්ල ද ව්‍යාප්ත ව පැවතුණ බව ද මෙම බලපෑම නිර්මිත පරිසරය කෙරෙහි බලපෑ බව ද තහවුරු වේ.

පොළොන්නරුව අවට ”පාලමොත්තායි” ලෙස සඳහන් වන ස්ථානවලින් චෝළ සම්ප්‍රදාය ට අයත් ශිව දේවාල ගොඩනැඟූ බව ට සාක්ෂි ඇත. පොළොන්නරුව ද්‍රවිඩ ශිලා ලේඛනයන් හි අංක දෙක දරණ ශිලා ලේඛනයේ චෝළයින් විසින් තානු ”වන – වන් – ම – දේවි ඊශ්වරම්” යනුවෙන් හඳුන්වන ගොඩනැඟිල්ලක් ගැන ද සඳහන් වේ. විශේෂයෙන් ම එයට ඒ නම ලැබී ඇත්තේ රාජ රාජ චෝළ රජුගේ බිසව වන වන-වන්ම දේවි සිහිකිරීම ට විය හැකිය.

මුළින්ම ගලින් නිමවා ඇති මෙම ගොඩනැඟිලි පොළොන්නරු නිර්මිත පරිසරයට එක් වන්නේ චෝළ බලපෑම මතය. චෝලයින් යටතේ ලංකාවේ හින්දු ගෘහ නිර්මාණ ක්‍රමය සංවර්ධනය වුවත්, පොලොන්නරුව ගෘහ නිර්මාණ ශිල්පයේ චෝල ආභාෂය ඇත්තේ හින්දු දේවාල වල පමණක් බවත්, චෝලයින්ට පසුව දක්නට ලැබුණු දේශීය බෞද්ධ ගෘහ නිර්මාණ සම්ප්‍රදාය පොළොන්නරු යුගය තුළ දීම අනුරාධපුර ශෛලියේ තාත්වික දියුණුවක් ලෙස විකාශනය වූ බවත්  සෙනරත් පරණවිතාන මහතා දක්වයි.

කෙසේ වෙතත් දිවයිනේ හින්දු ජනාවාස ඈත අතීතයේ සිටම දක්නට ලැබුණ ද චෝල පාලනයේ ප්‍රතිඵලයක් ලෙස උතුරු ලංකාවේ ස්ථාවර ද්‍රවිඩ ජනාවාස වල සංඛ්‍යාව ඉහළ ගියේය. මේ නිසා ක්‍රිස්තු වර්ෂ 1070 දී චෝලයින් පරදවනු ලැබූ පසුව ද හින්දු ජන කොටස් වලින් හින්දු දේවාල ආරක්ෂා කොට එහි පැවැත්ම තහවුරු කරන ලදී. ඇතැම් විට අලුත් දේවාල පවා ඉදිකරනු ලැබිය.

ගලින් හා ගඩොලින් එවකට නිම වී තිබුණු සෑම පොළොන්නරුව ගොඩනැගිල්ලක් ම පාහේ බෞද්ධ ආගමික ගොඩනැගිල්ලක් වූ අතර හුදු කළු ගලින් කරන ලද ගොඩනැඟිලි හින්දු ආගමික කෘතීන් අතර විය. රජු විසින්ම පාලනය කරනු ලැබූ පොළොන්නරු ගොඩනැගිලිවල හුදෙක් භික්ෂූන් විසින් පාලනය කරනු ලැබූ අනුරාධපුර ගෘහ නිර්මාණයන්ට වඩා සුවිශේෂීත්වයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම පොලොන්නරුවේ පරිපාලනමය ව්‍යුහය දෙස සුපරික්ෂාකාරීව බලන කල්හි පෙනී යන කරුණක් ලෙස එහි වූ පාලනමය ධූරාවලිය හා බද්ධ වූ දක්ෂිණ භාරතීය බලපෑම ද අධ්‍යයනය කළ හැකිය. රජුගේ පරිපාලනමය ධූරාවලිය තුළ අමාත්‍යවරුන්ට ඉහළ ස්ථානයක් ද ඊට පසු ස්ථානය භික්ෂූන් වහන්සේලාට ද පවරා තිබුණ බවක් පෙනී යයි. නමුත් මීට හාත්පස වෙනස් තත්වයක් අනුරාධපුර යුගයේ පරිපාලනමය ව්‍යුහය තුළින් විද්‍යාමාන විය. මෙය මෙසේ නොවුණේ නම් පොළොන්නරුවේ දළදා මළුවට නොදුරින් ශිව දේවාල ගොඩනැගිල්ලක් ඉදි වන්නේ නැත. විශේෂයෙන්ම එවකට රජවරුන් බෞද්ධාගමට සේම හින්දු ආගමටත් ලැදිකම් දැක්වූ බවට පැරණි පොලොන්නරුව නිර්මිත පරිසරය තුළින් සාක්ෂි ලැබේ. කෙසේ වෙතත් දළදා මළුවට නුදුරින් පිහිටි කළු ගලින් නිම වූ අංක 01 ශිව දේවාල ගොඩනැඟිල්ල පොළොන්නරුවේ සෙසු සියලු බෞද්ධ ආගමික ගොඩනැගිලි වලට වඩා වෙනස් වූ, දක්ෂිණ භාරතීය බලපෑම සහිත නිර්මාණ විලාසයන් පිළිබිඹු කරයි.

ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතාගේ මතයට අනුව මෙම ගොඩනැඟිල්ල තුළ පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ එන ඇතැම් අංග ලක්ෂණ ද අන්තර්ගතය. ඊට අමතරව අංක 02 ශිව දේවාලය පොළොන්නරුව නිර්මිත පරිසරය තුළින් හමුවන වඩාත් පැරණිම ශිව දේවාලයයි. සමකාලීන දකුණු ඉන්දීය චෝල ගෘහ නිර්මාණ සම්ප්‍රදායක් අනුව නිර්මාණය කර ඇති අතර ගෙඩිගේ ශෛලිය ට අයත් ශෛලමය ගොඩනැගිල්ලකි. එසේම මෙහි මුළුමනින්ම සරල චෝළ (මුල් කාලීන චෝල දේවාල) වාස්තු විද්‍යාත්මක ශෛලියන් දක්නට ලැබීමද විශේෂත්වයකි. තවද මෙම ගොඩනැඟිල්ල එකොළොස් වන ශත වර්ෂයේ දී චෝලයන් විසින් ගොඩනගන ලද්දේ දක්ෂිණ භාරතීය චෝල අධිරාජයාගේ අනුමැතිය ලද පසුබිමක ය.

චෝලයින් ගේ විදේශ ප්‍රතිපත්තිය තුළ ද අන්තර්ගත වූයේ වෙළඳාම හා ආගම ව්‍යාප්ත කිරීමයි. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවලියක් දියත් කරන ලදී. විශේෂයෙන්ම පාලන ප්‍රදේශ තුළ ගොඩනැඟූ නිර්මිත පාරිසරික අංගයන් තුලින් ඔවුන් අපේක්ෂා කළ ඉලක්කයන් මුදුන්පත් කර ගැනීමට ඔවුන් යොමු වී ඇත. උක්ත සඳහන් කළ ආකාරයටම පොලොන්නරු නගරය කේන්ද්‍ර ගත කොට ගෙන චෝළයින් විසින් ගෙනගිය පාලනය සහ වෙළඳාම හේතුකොටගෙන ආගමික වශයෙන් ද පොලොන්නරුව නිර්මිත පරිසරයේ මුහුණුවර වෙනස් විය. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ ආකාරයටම පොලොන්නරු නගරය ඇතුළු ස්ථාන කිහිපයකම හින්දු දේවාල ගණනාවක්ම ඉදිවිය.

හින්දු දේවාල නැතහොත් හින්දු ගෘහ නිර්මාණයන් ගොඩනැඟීම සම්බන්ධව ගත් විට ඒවා හුදෙක් හුදෙක්ම රාජකීයයන් අතින් පමණක්ම නොව චෝල පාලන සමය තුළ විවිධ අවශ්‍යතාවන් සඳහා විශේෂයෙන්ම වෙළඳාම හා විවිධ වෘත්තීන් සඳහා මෙරටට පැමිණි ද්‍රවිඩ ජාතිකයන් ගේ අනුග්‍රහයෙන් ද ඉදි කර ඇති බවට සාක්ෂි තිබේ. විශේෂයෙන්ම එලෙස අනුග්‍රහය දැක්වූවන් සම්බන්ධව කෙටි හෝ විස්තර සහිතව අභිලේඛන සොයාගෙන ඇත. උදාහරණ වශයෙන් ඔවුන් දක්ෂිණ භාරතයේ ”තිරුප්පුව” නම් පංච නදී (තිරුවයියාරු) තිල්ලයි (චිදම්බරම්) ආදී නගරවලින් පැමිණි ද්‍රවිඩ අයයි.

ඉහත දැක්වූ පරිදි ම ඊට සමාන නමුත් පාර්ශවයන් එකිනෙකට වෙනස් වූ සිදුවීමක් ද වාර්තා වේ. එනම් චෝළයින් බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය එය නිත්‍ය බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් ලෙස හුවා දැක්වීම සාධාරණ නොවේ. මක් නිසා ද යත්, ඇතැම් අවස්ථා වල දී චෝළ අධිරාජ්‍යයෝ බෞද්ධ සිද්ධස්ථානවලට ප්‍රධානයන් පවා කළ හ. ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ හමුවී ඇති ෂ වන රාජේන්ද්‍ර ගේ සෙල්ලිපියක ”වෙල්ගම් වෙහෙර” යනුවෙන් සිංහලයන් හඳුන්වනු ලැබූ විහාරයකට ද්‍රවිඩයන් විසින් කරනු ලැබූ ප්‍රදානයන් ගැන දැක්වේ. මෙම විහාරයට ”රාජරාජප්පෙරුම් පල්ලි” යන නම ඔවුන් විසින් යෙදූ බවත් එම සෙල්ලිපියේ දැක්වෙයි.

බුදුමුත්තෑව සෙල්ලිපියට අනුව ”වික්කිරම චලමෙක ඊශ්වර” නම් දේවාලයක් දේවාලයක් ගැන ද සඳහන් කරයි. නිශ්ශංක මල්ල රජුගේ ශිලා ලිපියක ඔහු බ්‍රාහ්මණයන්ගේ ප්‍රයෝජනය සඳහා ”බ්‍රාහ්මණ ශත්‍ර” නම් ගොඩනැගිල්ලක් ඉදි කළ බව ද දැක්වේ. මේ අනුව පොළොන්නරු යුගයේ බෞද්ධ රජවරුන් ද හින්දූන් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තිය අනුගමනය කළහ. එයට හේතුව වන්නට ඇත්තේ උක්ත සඳහන් කළ පරිදි ”නිර්මිත පරිසරයේ මානව සභ්‍යත්වයට රාජ්‍යත්වය ද ගරු කළ යුතුයි” යන්න ඉස්මතු කරවමිනි.

කේ. එම්. ජී. අර්ජුන මානගේ
පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්ව විද්‍යාලය

පරාක්‍රම සමුද්‍රයේ වාරි උරුමය මත ඉදිවන ඇවිදින මංතීරුව තුළින් මතුවන සංස්කෘතික උරුමය පිළිබඳ පුළුල් කතිකාවක කාලීන අවශ්‍යතාව

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉඳි කරන්නට ආරම්භ කොට මහජන විරෝධය නිසා අතරමග තාවකාලිකව නතර කළ ඇවිදින මංතීරුව පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැගී ඇත. භික්ෂුන් වහන්සේ ඇතුළු මහජන විරෝධය හමුවේ තාවකාලිකව නතර කරන ලද මෙම ව්‍යාපෘතිය, නැවත ඇතැම් භික්ෂුන්වහසේගේ ද සහාය ඇතිව පණ ගසා නැගිටින අයුරු පෙනේ. මෙම ඇවිදින මංතීරුව පිළිබඳ මෙතෙක් සිදු කෙරී ඇති සාකච්ඡාවලින් බොහොමයක් ශාස්ත්‍රීය කරුණු මත පදනම් වුවකට වඩා හුදු විරෝධයක් හෝ තවත් දේශපාලනික අරෝවන් පිරිමසා ගැනීමක් ලෙස සිදුවීම කණගාටුදායක ය.

පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය. ඡායාරූපය එම්. දිනිදු
ඇවිදින මංතීරුව
භික්ෂුන් වහන්සේ ඇතුළු මහජන විරෝධය ඡායාරූපය LankaNewsWeb

මෙම මංතීරු ව්‍යාපෘතියේ මෙන් ම මීට පෙර වැව් බැමි මත ඉදිකරන ලද මංතීරු හා ඉදිරියේ විවිධ වැව්  බැමි මත ඉදිකිරීමට යෝජිත තවත් මංතීරු ගණනාවක් ගැනත්, ඒ සඳහා වෙන්කරන ලද විශාල මුල්‍ය ප්‍රතිපාදන ගැනත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. ශ්‍රී ලාංකේය වාරි ශිෂ්ටාචාරයේ මුල්ම ඓතිහාසික වැව්  තුනෙන් අදටත් ජීවමාන ක්‍රි.පු. පස්වන ශත වර්ෂයේ  දී පමණ ඉදිකරන ලද බසවක්කුලම (අභයවැව) වැව් බැම්ම මත ද ඇවිදින මංතීරුවක් ඉදිකොට ඇතැයි කියැවේ. ක්‍රි.පු. තුන් වන සියවසේ ඉදිකරන්නට ඇතැයි සැළකෙන රෝහණ රාජ්‍යයේ පිහිටි තිස්ස වැවේ ද ඇවිදින මංතීරුවක් ඉදිකොට ඇති අතර, පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් නොකොට එම වැව යන්ත්‍රානුසාරයෙන් කැණීම පිළිබඳ අර්බුදයක් ද මතුවිය.  දහතුවන් වන ශත වර්ෂයේ  මැද භාගයේ ඉඳිකරන ලද පරාක්‍රම සමුද්‍රය එම වාරි ශිෂ්ටාචාරයේ බිඳ වැටීමේ අවදිය සනිටුහන් කරයි. ආන්දෝලනයට ලක් ව ඇති ඇවිතින මංතීරුව දැන් ඉදිවන්නේ එම වැවේ බැම්ම මත ය.

අභයවැව
බසවක්කුලම (අභය) වැවේ බැම්ම මත ඉදිකරන ලද ඇවිදින මංතීරුව – ඡායාරූපය පුජ්‍ය  කැලේගම ජින්රතන හිමි

මෙම වැව් තුන ම ශ්‍රී ලාංකේය වාරි  ශිෂ්ටාචාරයේ  සුවිශේෂී  සන්ධිස්ථාන  සනිටුහන් කරනවා සේ ම, ඒවා ජන විඥානය තුළ ශ්‍රී ලාංකේය වාරි ශිෂ්ටාචාරයේ සංකේත බවට පත්ව ඇත. වන්දනා නඩවල හා විනෝද චාරිකාවල නඩේ ගුරන් සේ ම පාසැල් දරුවන් අධ්‍යාපන චාරිකාවල ගෙන යන ගුරුවරුන් ද මෙකි වැව් බැමි මත දී ලාංකේය වාරි ශිෂ්ටාචාරයේ පදනම, එහි අංග හා මහා පරාක්‍රමබාහුගේ වාරි දර්ශනය  පිළිබඳ ව කරුණු කියන අයුරු මා අත්දැක ඇත. පර්යේෂකයෙකු  ලෙස පුද්ගලිකව ද, ආචාර්යවරයෙකු ලෙස සිසුන් සමග ද වරින් වර මා ද බසවක්කුලම හා පරාක්‍රම සමුද්‍රය යන ස්ථාන දෙකට ම  යන්නේ ඉහත කරුණු නිසාය. මේ වැව් සේම ලංකාවේ සෑම වැවක් ම ඒවාට ම ආවේණික වු සුවිශේෂී ලක්ෂණවලින් යුක්තවන අතර ඒවා පිළිබඳ කටයුතු කරන වාරි ඉංජිනේරුවන් සෑම වැවක් පිළිබඳව ම වෙන වෙන ම අවධානය යොමු කළ යුතු බව ජේ. එස්. කෙනඩි නම් වූ ලංකාවේ වාරි මාර්ග පිළීබඳ පර්යේෂණ ඉංජිනේරුවා ප්‍රකාශ කළේ 1937 දී ය. ලංකාවේ පැරණි වාරි කර්මාන්ත අශ්‍රිතව කරනු ලබන සියළු සංවර්ධන කටයුතුවල දී  නිසි පුරාවිද්‍යාත්මක හානි ඇගයීමකින් තොරව සිදුකළහොත් ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආර්ථික පදනමේ ද්‍රව්‍යාත්මක සාක්ෂි නැවත ගොඩ නැගිය නොහැකි ලෙස සදාකාලිකව ම අතුරුදහන් වනු ඇත.

යථෝක්ත කරුණු නිසාත්, ලංකාවේ පැරණි වාරිකර්මාන්ත හා දේශීය දැනුම් පද්ධතීන් මාගේ එක අධ්‍යයන ක්ෂේත්‍රයක් නිසාත් පරාක්‍රම සමුද්‍රයේ ඉදි කරන්නට යෝජිත මංතීරුව හා එම ඉදිකිරීම නිසා වාරි උරුමයට වියහැකි බලපෑම පිළිබඳ කරණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි. මහනුවර මුලික අධ්‍යයන ආයතනයේ (Institute of Fundamental Studies – IFS) දර්ශනය හා සමාජවිද්‍යා අධ්‍යයන අංශය යටතේ වූ ‘ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්‍ෂණය’ ව්‍යාපෘතියේ එක් දිගුකාලීන පර්යේෂණ ක්ෂේත්‍රයක් වුයේ වාරි තාක්‍ෂණය යි. මම එම ව්‍යාපෘතියේ  පර්යේෂකයෙකු ලෙස වසර හතරක පමණ කාලයක් කටයුතු කළ අතර ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි වැව් අමුණු සොරොව් සියගණනක් ඒ යටතේ අධ්‍යයනය කළෙමි. පරාක්‍රම සමුද්‍රය ද එම අධ්‍යයනවලට අයත් විය.  පරාක්‍රම සමුද්‍රයේ බැම්මේ කලහගල  අන්තය හා අඹන් ගඟ අතර ඇති භූ වැවේ පැරණි බිසෝකොටුව සොයා ගන්නා ලද්දේ ද කැණීම්  කරන ලද්දේ ද මා ද ඇතුළත් වූ ආචාර්ය මාතා ප්‍රිකට් මහත්මියගේ නායකත්වයෙන් යුතු IFS පර්යේෂණ කණ්ඩායම විසිනි. මෙහි බිසෝකොටුව ඇතුළේ කැණීම් කරනු ලැබුවේ ද මවිසිනි. මෙම පර්යේෂණ සිදු වුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ය. මීට අමතර ව මහා පරාක්‍රමබාහු පොළොන්නරුවේ රජවීමට පෙර දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පඬුවස්නුවර සිටි කාලයේ ඉදි කළ බව කියන බෑණ  සමුද්‍රය හෙවත් පඬාවැව ආශ්‍රිත වාරිකර්මාන්ත මවිසින් අධ්‍යයනය කරන ලද අතර එම අධ්‍යනය  කේම්බ්‍රිජ් සරසවියේ  (University of Cambridge) මාගේ දර්ශනපති (MPhil) උපාධිය සඳහා ඉදිරිපත් කළෙමි. මේ වැව් දෙක අතර තාක්ෂණික වශයෙන් කිට්ටු සම්බන්ධයක් දැකිය හැකිය. මේ නිසා දැනට උද්ගතව ඇති වාරි උරුමය හා සම්බන්ධ අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම මාගේ ශාස්ත්‍රීය වගකීමක් ලෙස සළකමි[1].

ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය, වාරි ශිෂ්ටාචාරයක් ලෙස හදුන්වනු ලබන්නේ එම ශිෂ්ටාචාරයේ ආර්ථිකයේ මුලික ම පදනම වන්නේ වාරි කර්මාන්ත මත පදනම් වූ කෘෂි කර්මාන්තය වීම,  හා  එම ශිෂ්ටාචාරයේ සුවිශේෂ ම ලක්ෂණය වාරි කර්මාන්තය වීම නිසා ය. එම ශිෂ්ටාචාරයේ ලංකාවේ වියළි කලාපයේ බිහි වූ අතර, එම කලාපයේ වර්ෂා ජලය මත පමණක්  යැපී වී ගොවිතැන් කිරීම අවදානම් වූ නිසා ජලය රැස් කිරීමට වැව්, අමුණු  හා ඇළ මාර්ග වියළි කලාපය පුරා ඉදිකරන ලද අතර එම සංඛ්‍යාව 30000 පමණ වෙතැයි ගණන් බලා තිබේ. ක්‍රි.පු. පළමු සහශ්‍රකයේ මැද භාගයේ ආරම්භ වූ වාරි  කර්මාන්ත වරින් වර නවීකරණය හෝ විශාල කිරීම් කළ ද ඒවායින් බොහොමයක් ඒවා ඉදිකිරීමේ මුලික අභිලාෂ අද දක්වාත් අඛණ්ඩව ඉටු කරමින් සිටි. අද දක්වාත් ලාංකේය ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ මෙම වාරිකාර්මික කෘෂිකර්මාන්තය යි. මෙම ග්‍රාමීය වාරි පද්ධතියේ සුවිශේෂත්වය වන්නේ ද වසර දහස් ගණනක් පුරාවට අඛණ්ඩ ව පවතින තිරසාර ජල භාවිතාව යි (Sustainable use of water).  එම වාරි පද්ධතිය තේරුම් ගත යුත්තේ ද, ආරක්ෂා කළ යුත්තේ ද වාරි කර්මාන්ත හා අවියෝජනීය ලෙස බැඳී පවත්නා පුළුල් ස්වභාවික-සංස්කෘතික පද්ධතිය ද සමග ය.

එය ආරක්ෂා කිරීමේ වගකීම එම වාරි කර්මාන්ත සමග ගනු දෙනු කරන සියළු පාර්ශ්වකරුවන්ට පැවරෙන අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් පැවරේ. එසේ වුවත් මේ සාකච්ඡාවට බඳුන්වන වැව් බැමි මත ඇවිදින මංතීරු සැදීමේ දී ක්‍රියාවලියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වගකීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී ඇත. වාරි කර්මාන්ත – මෙහි දී පරාක්‍රම සමුද්‍රය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  ගැසට් කොට නොමැති නිසා – පුරාවිද්‍යාවට අදාළ නැතැයි එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රකාශ කරන ලදැයි මාධ්‍ය වාර්තා කොට ඇත.

ඇවිදින මංතීරුව
නව මංතිරුවේ ඉදිකිරිම් ඡායාරූපය LankaNewsWeb

1940 අංක 9 දරණ පුරාවිද්‍යා ආඥා පනත එහි 1998 අංක 24 දරණ සංශෝධන සමස්තයක් ලෙස ගතහොත්, 1815 මාර්තු 2 වැනිදාට හෝ අදින් වසර සියයකට වඩා පැරණි නිශ්චල චංචල ඉදිකිරීම් හා කෞතුක භාණ්ඩ පුරාවස්තු යටතට ගැනේ. පරාක්‍රම සමුද්‍රය ද ඇතුළු ලංකාවේ වාරි කර්මාන්ත සියල්ල ම අවුරුදු සියයකට පැරණි මානව නිර්මාණ නිසා ඒවා නිසැකව ම පුරවිද්‍යා ස්ථාන/ පරිශ්‍ර ගණයට වැටේ. පුරාවිද්‍යා කැණීම්වලට අවසර දීමේ දී හානි නොවිය යුතු දේ අතර වාරි ඉදිකිරීම් හා ජල මුලාශ්‍ර පැහැදිලිව දක්වා තිබීමෙන් මෙය වඩාත් තහවුරු වේ. පරාක්‍රම සමුද්‍රය පිළිබඳ කාරණාවේ දී 1931 මාර්තු 13 නිකුත් කළ අංක 7844 දරණ ගැසට් නිවේදනය මගින් පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත තෝපාවැව, වැව මැද නටඹුන්, පොත්ගුල් වෙහෙර ආදී ප්‍රදේශ වෙන ම පුරාවිද්‍යා ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ද නම් කොට තිබේ. පරාක්‍රම සමුද්‍රයේ බැම්ම  කැඩී තිබී නැවත 1978 දී ප්‍රතිසංස්කරණය කොට එහි කොටසක රළපනාව නැවත සකස් කරන ලද නමුදු, බැම්මේ විශාල කොටසක් පැරණි වන අතර එහි මුල් රළපනාවේ කොටසක් ද තාමත් ආරක්ෂා වී ඇත.

පරාක්‍රම සමුද්‍රය ද ඇතුළු බොහෝ වැව් පුනරුත්ථාපනය හෝ නවීකරණය කොට ඇති නිසා ඒවායේ තථ්‍යතාවට (authenticity) දැනටමත් හානි වී ඇති නිසා ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම ගිලිහි ඇති බවත්, ඒවා නුතන භාවිතයට නිසි ලෙස නවීකරණය කිරීම හෝ නවාංග වරදක් නැතැයි ද මතයක් ගොඩ නැගී ඇත. මේ වාරිමාර්ගවල – විශේෂයෙන් වැව් සෑම කන්නක් ම ආරම්භයට/ වැසි ආරම්භයට පෙර බැම්මට පස් දමා ශක්තිමත් කිරීම ද ඇළ වේලි පමණක් නොව නියර වක්කඩ බැඳීම ද  එම වාරි කර්මාන්තයේ අඛණ්ඩතාවේ ම කොටසකි. එසේ ම  මේ වාරි (වැව්) ඉදිකිරීමේ මුලික අභිලාෂයේ (ජලය  එක්කොට අවශ්‍ය පරිදි කෘෂි කර්මාන්තය, වෙනත් මානව හා සත්ත්ව ප්‍රජාවේ අවශ්‍යතා මෙන් ම පාරිසරික සංරක්ෂණය) අඛණ්ඩතාව ද මේ දක්වාත් ආරක්ෂා වී ඇත. මේ නිසා මෙම වාරි කර්මාන්ත ආරක්ෂා කිරීමේ පුරාවිද්‍යාත්මක අවශ්‍යතාවක් ද, තිරසාර ජල පරිභෝජනයේ අඛණ්ඩතාව රැක ගැනීමේ අවශ්‍යතාවක් හා ඒ හරහා කෘෂි ආර්ථිකයේ පදනම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ද වේ.

Parakrama Samudraya
නව ඉදි කරීමක් ලෙස පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතින් ඉදි වී ඇති පාර ඡායාරූපය එම්. දිනිදු

මෙහි සාකච්ඡා වන වැව් බැමි මත ඇවිදින මංතීරු ඉදිකිරිම සාධාරණිකරණය කරනු බලන්නේ පැරණි වාරිකර්මාන්ත නුතන භාවිතයට නිසි ලෙස නවීකරණය හෝ නවාංග එකතු කොට නව ආර්ථික උපායමාර්ග ලෙස භාවිත කිරීම කළ යුතුය යන තර්කය මත ය. ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් බසවක්කුලම, තිසාවැව හා පරාක්‍රම සමුද්‍රය වැනි වැව්වලට ඒවායේ නොතිබුණ නවාංග එකතු කිරීම වැව්වල ඓතිහාසික භාවිතාව, අගයන්, වටිනාකම් හා අර්ථයන් විනාශවීමට හේතු වේ. පැරණි වැව් බැමි ගමනාගමනය සඳහා මුල් අවධියේ පටන්  ම භාවිත වුව ද ශාරීර සුවතාව සඳහා විශේෂයෙන් සකස් කළ මංතීරු වැව්වල අංග නොවුණි.  පුරාවිද්‍යාත්මක සංරක්ෂණයේ දී වුවද කලින් නොතිබුණ අංග පුරාවිද්‍යා ඉදිකිරීම්වලට (ඒවායේ පැවැත්මට අත්‍යවශ්‍ය විටක දී හැර) එකතු කරන්නේ නැත. අනාගතයේ  බසවක්කුලම වැව බලන්නට යන දරුවන් ඇවිදින මං තීරුව ද ඒ වැවේ ම  අංගයක් ලෙස තේරුම් ගතහොත්  ඔවුන් නොමග  යැවීමේ වගකීම අප වෙත පැටවෙනු ඇත.

ලංකාවේ වාරි උරුමය ලෝක උරුමයක් ලෙස නම් කිරීම සදහා අවශ්‍ය කටයුතු සාකච්ඡා වෙමින් පවතින අවස්ථාවක එම වාරි ශිෂ්ටාචාරයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන බසවක්කුලම, තිස්ස වැව හා පරාක්‍රම සමුද්‍රය වැනි වැව්වල ඓතිහාසික සන්දර්භයට හානි කිරීම අනුවන ක්‍රියාවකි. පරාක්‍රම සමුද්‍රය පොලොන්නරුව ලෝක උරුම නගරය සමග ඓතිහාසික ව බැදී පවතී. එහි අතීත  ශ්‍රී විභූතියේ ආර්ථික පදනම සපයන ලද්දේ පරාක්‍රම සමුද්‍රය මුල්කොට ගත් වාරි කෘෂි ආර්ථිකය විසින් නිසා එම වාරි උරුමය පවත්නා ස්වරුපයෙන් ම ආරක්ෂා කිරීම සංස්කෘතික සංචාරක ව්‍යාපාරය උදෙසා ද වඩාත් උචිත වේ. නුතන තිරසාර සමාජ-ආර්ථික ප්‍රගමනය අත්කරගත යුත්තේ ඓතිහාසික සංස්කෘතික-සමාජ  මූලයන් මත පිහිටා මිස ඒවා විනාශ කොට නොවේ.

පුරාවිද්‍යාවේ නාමයෙන් සියළු සංවර්ධන කටයුතු නතර කළයුතුයැයි මෙයින් යෝජනා කරන්නේ නැත. එහෙත් සියළු  සංවර්ධන කටයුතු කිරීමේ දී පුරාවිද්‍යාත්මක හානි ඇගයීමේ අධ්‍යයන කිරීම පුරාවිද්‍යා ආඥා පනතේ 1998 අංක 24 දරණ සංශෝධනය මගින් අනිවාර්ය කොට ඇත. 2006 ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය මගින් පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීම හා එහි කාර්යභාරය ඉටු කිරිම පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාගේ වගකීම බවට පත්කොට ඇත. එම කාර්ය ඉටුකිරීමට උපදෙස් දීම පුරාවිද්‍යා උපදේශක සභාවක් ද පිහිටුවා තිබේ. එහෙත් මෙහි සාකච්ඡා වෙන වැව් බැමි මත  ඇවිදින මංතීරු සැදීම් ආරම්භ වීමට පෙර පුරාවිද්‍යා හානි ඇගයීමේ අධ්‍යයන (Archaeological Impact Assessment) නොවූ බව කියවේ. තිස්ස වැවේ මඩ ඉවත්කිරීමට යන්ත්‍ර මගින් හැරීමේ දී ද පුරාවිද්‍යා හානි ඇගයිම සිදුකළේ මහජන විරෝධය පළවීමෙන් පාසුව ය. පුරාවිද්‍යා හානි ඇගයීම් අධ්‍යයන කළ යුත්තේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පෙර ය.

තිස්ස වැවේ මඩ ඉවත් කිරීම
තිස්ස වැවේ මඩ ඉවත් කිරීම ඡයාරූපය NewFisrt

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එහි නිළධාරීන් කටයුතු කරන්නේ අවම පහසුකම් හා විවිධ දුෂ්කරතාවන් යටතේය. ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීමේ දී මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතාවන්, අභියෝග පමණක් නොව තර්ජන ගැන මේ ලියුම්කරු ඉතා හොඳින් දැනුවත්ය. දේශපාලන බලපෑම් ඉදිරියේ ඔවුන් අසරණ වන්නේ අනෙකුත් රාජ්‍ය රාජ්‍ය නිළධාරීන් ලෙසින්ම ය. මෙහි සාකච්ඡා වෙන වැව් බැමි මත ඇවිදින මංතීරු ඉදිකරිරීමේ දි ද එබඳු දේශපාලන බලපෑම් එල්ලවෙනවා විය හැකි ය. කුමන තත්වයක් යටතේ වුව ද පුරාවිද්‍යා උරුමය විනාශ වීමට ඉඩහැරීම නැවත කිසි දිනක නිවැරදි කළ නොහැකි අපරාධය කි. එබැවින් වාරි උරුමය පමණක් නොව, ලංකාවේ සමස්ත පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කරගැනීම සියළු පුරවැසියන්ගේ වගකීමක් ලෙස සැළකිය යුතුය. මෙම ලිපියෙහි එක් අරමුණක් වන්නේ එය මතක් කර දීම යි.

උරුමයේ නුතන භාවිතාව පිළිබඳ  විවිධ මතවාද තිබිය හැකි ය. එබඳු විවාදාපන්න කරුණු පිළිබඳ තීරණවලට එළඹීම විෂය ප්‍රාමාණිකයින්ට අයත් කාර්යයක් වන අතර, එය සිදුවිය යුත්තේ මුළුමනින් ම පුරවිද්‍යා – උරුම කළමනාකරණ ශික්ෂනයන්හි මූලධර්ම හා න්‍යායික දාර්ශනික තර්කණය මත පිහිටා මිස දේශපාලනික බලපෑම්වලට යටත්ව නොවේ. සංවර්ධන අවශ්‍යතා හා මහජන අභිලාෂයන් සැපිරෙන පරිදි උරුම කළමනාකරණය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාව කි. වාරි උරුමය බඳු ජීවමාන උරුම සමග ගනුදෙනු කිරීම තවත් සංකීර්ණ වන්නේ ප්‍රජා-මූලික ප්‍රවේශයක් ද අනුගමනය කළ යුතු නිසාය. මෙය උරුමය හා සම්බන්ධ සියළු පාර්ශ්වකරුවන් එක්ව කරන පුළුල් සංවාදයකින් කළ යුතු ක්‍රියාව කි. වාරි උරුමය ආශ්‍රිතව අද මතුව ඇති අර්බුදය එකිනෙකාට ඇඟිලි දිගු නොකර සිදු කරන එබදු පුළුල් සමාජ කතිකාවක දැඩි කාලින අවශ්‍යතාව පෙන්නුම් කරයි.

[1] ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥන්ගේ වෘත්තීය සංගමය විසින් සංවිධායනය කොට 2021 සැප්තැම්බර් 19 වැනි දින මාර්ගගත ක්‍රමයට  ‘ලංකාවේ වාරි උරුමය’  යන මාතෘකාව යටතේ පැවැත්වූ පුරාවිද්‍යා සංවාදයේ දී ද ‘ලංකාවේ වාරි උරුමය හා එය සුරකීමේ කලීන අවශ්‍යතාව’  පිළිබඳ මවිසින් මූලික දැක්විමක් කරන ලදී.

ආචාර්ය විජේරත්න බෝහිංගමුව
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්ව විද්‍යාලය

 

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික සිතුවම් වලින් යුත්  කැන්වසයක් සොයාගත් බව විදෙස් ප්‍රවෘති සේවා පසුගියවර්ෂයේ නොවැම්බර් මාසයේ වාර්තා කළේය.

ප්‍රාග්ඓතිහාසික සිතුවම් ගුහා පියැසි වල ඇඳ ඇති සිතුවම්
ගුහා පියැසි වල ඇඳ ඇති සිතුවම් ඡායාරූපය – Ella Al-Shamahi

ඇමසන් වනාන්තරය තුළ ජීවත් වූ මුල්ම මානවයින් විසින් මෙම ගුහා සිතුවම් කරන්නට ඇති බව විශ්වාස කරන නිසා මෙම සොයා ගැනීම විශේෂත්වය වඩාත් සුවිශේෂී වෙයි . එනම් ඇමසන් වනාන්තර පෙදෙස  නිජබිමකරගත් ප්‍රාග්ඓතිහාසික  මානවයින් සතු වූ කලාත්මක හැකියාව පිළිබඳ මේ හා සමාන විශිෂ්ට සොයා ගැනීමක් මින් පෙර සිදු කර නොතිබුණ නිසාය.

මෙම සිතුවම්වල අනික් සුවිශේෂිත්වය වන්නේ ‘ප්යිස්ටොසීනය‘ හෙවත් මහා හිම  යුගය තුළ ඇමසන් වනය ආශ්‍රිත ප්‍රදේශය  තුළ ජීවත් වූ දැනට වඳවී ගොස් ඇති සතුන් විශාල ප්‍රමාණයක් එම සිත්තම් වලින් පැහැදිලිව හඳුනාගැනීමට හැකිවී තිබීමයි. මෙම සිතුවම් ඇඳ ඇත්තේ ප්‍රාග්ඓතිහාසික මානවයින් විසින් ගිරි සිත්තම්කරණය සහ ශරීර ආලේපනය සඳහා නිරන්තරව භාවිතා කරණ ලද රතු ගුරුගල් භාවිතා කරමිනි.

ප්‍රාග්ඓතිහාසික සිතුවම් ඇඳිම සඳහා භාවිතා කරන ලද රතු ගුරුගල්
සිතුවම් ඇඳිම සඳහා භාවිතා කරන ලද රතු ගුරුගල්

අප්‍රිකාවේ සම්භවය ලද නූතන හෝමෝ සේපියන්ස් මානවයා අදින් වසර හැත්තෑ දහසකට පෙර අප්‍රිකාවෙන් පිටත්ව ලොව පුරා  සංචාරය කිරීම නිත්‍ය වශයෙන් ආරම්භ කළේ ය. එසේ සංචාරය කළ අප වර්ගයාගේ ආදී මුතුන් මිත්තෝ මහද්වීප සියල්ලක්ම ගොඩ බිමින් සහ මුහුදින් තරණය කොට ඒ ඒ මහද්වීප වල  වාසය සඳහා  සුදුසු බිම් පෙදෙස් ජනාවාස කරගත්හ. දකුණු ආසියානු කලාපය වෙත ද සංක්‍රමණය වූ එකී මානවයින් අදින් වසර හතලිස් අටදහසක පෙර සිට නිත්‍ය වශයෙන් අප රට තුළ නිත්‍ය නේවාසිකයන් වූ   බව ෆායින්ගල -ලෙන  ආශ්‍රිතව සිදුකළ නවතම පුරාවිද්‍යාත්මක කැණිම් වලින් සොයා ගැනීමට හැකිවිය. යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ තරණය කළ හැකි සියලුම  බිම් පෙදෙස් කරා ළඟාවූ ඔවුහු මධ්‍ය ආසියාව හරහා නූතන චීනය වෙත ද , චීනයේ ඊශාන දෙසින් අසියානු මහද්වීපයේ කෙළවර දක්වා ගොස් අවසානයේ බීරීං සමුද්‍රසන්දිය(Bering Strait) තරණය කරමින් නූතන උතුරු ඇමරිකාවේ වයඹ දෙසින් ඇමරිකානු මහද්වීපයට ඇතුළු වූහ. එසේ ඇතුළු වූ ප්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන් අදින් වසර විසිපන්දහසත්, පහළොස් දහසත් අතර කාලවකවානුව   තුළ සමස්ත ඇමරිකානු මහද්වීපය තුළ පැතිරගිය බව මේ වන විට සොයාගෙන ඇත. එසේ නව බිම් සොයා ගිය ඇමරිකානු මුල් වැසියන්ට එතෙක් මිනිස් පා පහසක් නොලද ,පෙරදී අත්නුදුටු පාරිසරික තත්ත්වයන් ද නන්විද වනසර සතුන් සහ ශාක ද මුණගැසිණි.

එහෙත්  ඇමරිකාව තුළ ආදී මානව ජනාවාසකරණය පිළිබඳ මේ දක්වා  සිදුකිරීමට වඩාත් අපහසුවූත්, ඉතා අඩු වශයෙන් ගවේශන  සිදුකරන ලද්දා වූත්  පර්යේෂණ ක්ෂේත්‍රයක් වූයේ ඇමසෝනියානු නිම්න කලාපය තුළ පැවති ආදී මානව ජනාවසකරණය පිළිබඳ සාධක සොයායෑමයි. එහෙත් මෑත කාලීනව මේ පිළිබද පුරාවිද්‍යාඥයින් අතර වඩා වැඩි අවධානයක් යොමු වූ අතර මෙම සොයාගැනීම ද එකී අප්‍රතිහත මැදිහත්වීමේ ප්‍රතිඵලයකි. ආදී මානවයින් මෙම කලාපය ජනාවාස කරන්නට ඇත්තේ අදින් වසර දහතුන් දහසත්   අට දහසත් අතර කාලයේදී බව 2015 සහ 2017 යන වර්ෂ වලදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කාලනීර්ණ වලින් සොයාගන්නා ලදී.

එම කාල වකවානුව  මෙම කලාපය තුළ දිවිගෙවූ ප්‍රාග්ඓතිහාසික දඩකරු-අන්නගවේෂකයන්ට පමණක් නොව සමස්ත ලෝකය පුරා ව්‍යාප්තව සිටි ප්‍රාග්ඓතිහාසික මානවයින්ට ඉතාමත් දුෂ්කර දේශගුණ තත්ත්වයන් යටතේ දිවි ගෙවීමට සිදුවූ කාල වකවානුවක් විය. එනම් ගෝලීය දේශගුණ ඉතිහාසය තුළ අවසන් හිම යුගය එසේත් නැතිනම් ඉංග්‍රීසී බසින් ‘younger Dryas’  නමින් හඳුන්වන දේශගුණ තත්ත්වය ඇති වුයේ මෙම කාලවකවානුව තුළදීය. අදින් වසර දොලොස් දහසකට  කට පෙර දී අවසන් වූ ප්ලයිස්ටෝසීන යුගයේ අවසන් අදියරෙන් පසුව ඇති වූ මෙම දේශගුණික තත්ත්වය, එය සිදුවීමට වසර අටදහසකට පෙර  සිට උතුරු අර්ධ ගෝලය තුළ පැවති ග්ලැසියර තට්ටු දියව යමින් ආරම්භ වූ ගෝලීය උණුසුම් දේශගුණ තත්ත්වය යලි ආපස්සට හැරවීමක් විය. සත්‍ය වශයෙන්ම එය සදාශීත ප්ලයස්ටොසීන යුගයෙන් පසු ව ඇති වූ කෙටි හිම යුගයක්  විය.

එහෙයින් මෙවන් දුෂකර සමයක දී ඇමසන් වනාන්තරයට ඇතුළ වූ ප්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් පුරුදු පුහුණු කල ශිල්පීය ඥානය සහ  දිවිරැක ගැනීම සඳහා වර්ධනය කරගත් සාම්ප්‍රදායික තාක්ෂණික දැනුම ට අමතරව කෙටි කාලවකවානුවක් තුළ සිදුවන අතිශය දුෂ්කර පාරිසරික විපර්යාස තත්වයන්ට අනුවර්තනය වීමට අවශ්‍ය නව දැනුමක් සහ ශඛ්‍යතාවක් දියුණු කරගැනීමට සිදුවිය. සැබවින්ම එදවස පැවතියේ අප අද දකින නිවර්තන කලාපීය මහා ඇමසන් වනය නොවේ.  හිම දියව යාමත් සමඟ ගෝලීය උෂ්ණත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිවන විට එකී නිම්න කලාපය තුළ තැනින් තැන ව්‍යාප්තව පැවති තෘණ පදුරු සහිත සැවානා බිම් සහ, කටු පඳුරු සහිත කැලෑ  ප්‍රදේශ සියල්ලක් එක්වෙමින් ක්‍රම ක්‍රමයෙන් දැන් පවතිනි පළල් පත්‍රවලින් යුත් ශාක සහිත ඝර්මකලාපීය මහා වනයක් බවට එය පත්විය. සැබවින්ම එවන් පරිසර තත්ත්වයන් තුළ ප්‍රාග්ඓතිහාසික දඩකරු අන්න ගවේශකයන් ජීවත් වූ බවට,  ශ්‍රී ලංකාවේ  ෆාහියන්ගල සහ බටදොඹලෙන ආශ්‍රිත වඩා විශ්වාසදායක සාක්ෂි පිළිබඳ ගෝලීය අවධානය යොමුවූ 2017 වර්ෂය වනතෙක් පුරවිද්‍යාඥයින් විසින් විශ්වාස නොකළහ.

ඇමසන් වනාන්තරයේ කොලොම්බියාවට අයත් උතුරු සීමාවේ ඇති සෙරානියා ලා ලින්ඩෝසා (Serranía La Lindosa ) නම් ස්ථානයේ සිදුකළ මෙම නවතම පුරාවිද්‍යාත්මක කැණිම් වලින් එම කළාපය තුළ දිවිගෙවූ ආදිතම මානවයින් සහ ඔවුන් පැවති පරිසර තත්ත්වයන්ට මුහුණ දුන්නේ කෙබඳු ආකාරයෙන් ද යන කාරණා පිළිබඳ ඉතා වැදගත් සාධක රාශියක් හෙළි කරගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇත.   එකී කාරණා අවබෝධ කරගැනීමට ගුහා බෙයඳවල ඇඳ ඇති දහස්ගනණක් වූ  ගිරිසිත්තම් සමූහය පුරාවිද්‍යාඥයින් සඳහා මහත් පිටිබලයක් ලබා දී ඇත .

සැතපුම් ගනණක් යනතෙක් විහි දී ඇති ගුහා පියැසි(Rock Shelters) සංකීර්ණවල   ‘දුම්බර කලාලායක්‘ සේ  දිගින් දිගට ඇති ඇතුළත බිත්ති වල ජ්‍යාමිතික හැඩතල, මානව රූප, අත්සටහන්. ශාක සහ සතුන් දහස් ගනණකගේ සටහන් ඇඳ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ගුහා පියැසිවල ඇඳ ඇති සිතුවම්
ගුහා පියැසිවල ඇඳ ඇති සිතුවම්
සිතුවම් අතර දක්නට ලැබෙන ජ්_යාමිතික හැඩතල
සිතුවම් අතර දක්නට ලැබෙන ජ්_යාමිතික හැඩතල
සත්ව සහ මානව රූප සටහන්
සත්ව සහ මානව රූප සටහන්
මානව අත්වල රූ සටහන්
මානව අත්වල රූ සටහන්

එකී ගුහා පියැසි වාසස්ථාන කොටගත් ආදී ඇමසන් දඩයක්කරුවන් විසින් භාවිතකොට ශේෂ වූ පුරාවස්තු විශාල ප්‍රමාණයක් ද මෙම කැණීම් මඟින් සොයාගැනීමට හැකිවී ඇති අතර එම පුරාවස්තු හමුවූ තැන්පතු අදින් වසර 12000 ක් තරම් පැරණි බව ඒ ආශ්‍රිතව කල විකිරණශීලී දිනනීර්ණවලින් පැහැදිලිවෙයි.

මෙම සිතුවම් ඇඳ ඇති  ගුහා පියැසි සංකීර්ණය, සමස්තයක් වශයෙන්  දකුණු ඇමරිකාව තුළින් සොයාගත් විශිෂ්ටතම  ගිරිසිත්තම් ඇති  ප්‍රධාන ස්ථාන අතුරින්  එකකි. එහි ඇති වටිනාකම වැඩි කරන්නේ එම සිතුවම්වලින් දැනට වඳවී ගිය, හිමයුගය තුළ දිවිගෙවූ විශාල සතුන්ගේ පැහැදිලි රූ සටහන් ද අන්තර්ගතවීම නිසාය. මෙම සිතුවම් විවිධ ඛණිජ වර්ණක භාවිතාකොට ඇඳ ඇති අතර ඉන් රතු ගුරුගල් මාධ්‍ය ප්‍රධාන වෙයි. අළු පැහති පසුබිම  තුළ  රතු ගුරුගල් භාවිතා කොට රූ සටහන් ඇඳ ඇති නිසා  සමස්ත සංරචනය ඈතට පවා ඉතා පැහැදිලිව  හා අලංකාර ලෙස  දිස්වෙයි.

සිතුවම් සියල්ලක්ම පාහේ පතුරු ගැලවී යාමට නියමිත සුමට ව සකසාගත් පියැසි බිත්තියෙහි ඇඳ ඇති අතර වසර දහස් ගණනක් තිස්සේ  වනාන්තරයට ඇද වැටුණු මහ වැසිවලට නොතෙමෙන ලෙස ඒවා  නිරුපද්‍රිතව ඇඳ තැබීමට ඔවුන් සමත් වී ඇත. සිතුවම් වල ප්‍රධාන වශයෙන් මානව, සත්ව සහ ශාක වල රූ රටා සහ ජ්‍යාමිතික හැඩතල අන්තර්ගත වෙයි. මානව රූ සටහන් බොහෝමයක් දක්වා ඇත්තේ දඩයම් සහ අභිචාර සිදුකරන ආකාරය නිරූපණය කරමිනි, එමඟින් එම මානවයින් සැවානා බිම්වල දිවිගෙවූ සතුන් සහ එහි වැවී තිබූ නොයෙක් ශාක සමඟ පැවත්තවූ අන්‍යෝන්‍ය  සබඳතාව හෙලිකරණ  සාධක ගනනාවක් අනාවරණය කරගැනීමට හැකිය.

හඳුනාගත හැකි සත්ව රූප අතරින් මුවන්, ටපිරා නම් දකුණු ඇමරිකාව තුළ දක්නට ලැබෙන ඌරන්, කිඹුලන්, වවුලන්, වඳුරන්, ඉදිඹුවන්, සර්පයන් සහ ඉත්තෑවන් සහ තවත් බොහෝ සතුන් වෙති. මෙම සතුන්ට අමතරව   හිම යුගය තුළ දිවි ගෙවූ එහෙත් දැනට වඳ ව ඇති සත්ව විශේෂ වීම ද මෙම සිතුවම් වල වටිනාකම තවත් වැඩිකරණ සාධකයකි. බ්‍රසිලයේ මධ්‍යම කලාපයෙන් සහ දකුණු ඇමරිකාවේ තවත් තවත් තැන් කිහිපයකින් මෙම සතුන්ගේ සිතුවම් හමුවී තිබුනත් මෙම ස්ථානයෙන් හමුවන සත්ව රූ සටහන් ස්වාභාවික නිරූපණය අතරින් ඉදිරියෙන්ම සිටී.

වඳවී ගිය මෙම සතුන් අතරට යෝධ ස්ලොත් වළසුන් (giant sloth-රූපසටහන a), විශාල මැමත් සතුන්(රූපසටහන b),ඔටුවන්(රූප සටහන c), අශ්වයන්, කුර තුනක් සහිත ශෙනොරයිනෝතේරියම් (Xenorhinotheriu) නම් විශාල ක්ෂීරපායී  සතුන් ද  අයත්වෙයි. එමෙන්ම මෙම රූ සටහන් තුළ විශාල හිසින් යුත් ඇමරිකානු කලාපය තුල හිමයුගයේ දී විසූ  වනසර  අශ්වයින්ගේ රූපද දක්නට ඇත (රූප සටහන් d සහ e).

ප්‍රාග්ඓතිහාසික සිතුවම් දැනට වඳ වී ගිය හැම යුගය තුඵ ජීවත් වූ විශාල සතුන්
දැනට වඳ වී ගිය හැම යුගය තුඵ ජීවත් වූ විශාල සතුන්  ඡායාරූපය – Ella Al-Shamahi

මෙම සතුන් බොහෝමයකගේම  සිතුවම් ඵලකවල පසුතලයේ ඉහළට වනන්ට ඇඳ ඇති අතර හිමයුගයට අයත් මෙම විශාල සතුන් සමඟ ඇඳ ඇති කුඩා මානව රූ සටහන්ද හඳුනාගත හැකිය. ගුහා වාස්ථාන වල ආදිම තැන්පතුවල තිබී මෙම චිත්‍ර ඇඳීමට භාවිතා කරණ ලද ගුරුගල් කොටස් සහ ගුහා පියැස්සෙන් ගැලවී වැටුනු සිතුවම් ඇඳි ශිලා පතුරු කොටස් හමුවීම මඟින් සමස්තයක් වශයෙන් ඇමසෝනියානු වනාන්තර කලාපය නිජබිමකරගත් ආදිතම මානවයින්ගේ කලාත්මක ප්‍රකාශනය මෙන්ම ඔවුන් එකල ජීවත් වූ හිමයුගයට අයත් විශාල සතුන් සමඟ පැවැත් වූ සබඳතාව කවර ස්වරූපයක් ගත්තේ ද යන්න අවබෝධ කොට ගත හැකිය. මෙම කරුණු වඩාත් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මෙම ප්‍රෙද්ශය ආශ්‍රිතිව සිදුකරන පර්යේෂණ කටයුත් වඩාත් පුළුල්  කිරීම සඳහා පර්යේෂ්කයන්ගේ අවධානය යොමු වී ඇත.

ප්‍රාග්ඓතිහාසික සිතුවම් කලාව පිළිබඳ අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් ආදී මානවයින් විසින් මෙම සිතුවම් ගුහා පියැසි මත අඳින්නට ඇත්තේ කිනම් කරුණක් අරඹයාද යන්න ගැන තවමත් නිෂ්චිත අදහසක් නොදරයි, 1900 මුල් වකවානුව තුළ සිටි ප්‍රාග්ඓතිහාසික කලා විශේෂඥයින් විසින් අදහස් අනුව යමින් ආදී මානවයින් විසින් තමන්ගේ දඩයම් කටයුතු ගුහා බිත්ති මත අඳින්නට ඇත්තේ එමඟින් දඩයමට පිටත්වීමට යාමට පෙර එලෙස සුතන් සිතුවම් කිරීම මඟින් ඔවුන්ට වඩා වැඩි ප්‍රමාණයක් සතුන් දඩයම් කරගැනීමට හැකිවේ යන ‘මායාමය‘ විශ්වාසය නිසා බව ඇතැමෙක් පවසති.

ප්‍රාග්ඓතිහාසික දඩයක්කාරයෙකු ගිරිබිතක සිතුවම්කරනයේ යෙදුණු ආකාරය පිළිබඳ පරිකල්පිත සිතුවමක්
ප්‍රාග්ඓතිහාසික දඩයක්කාරයෙකු ගිරිබිතක සිතුවම්කරනයේ යෙදුණු ආකාරය පිළිබඳ පරිකල්පිත සිතුවමක්

තවත් පිරිසක් එම න්‍යායන් තරමක් දියුණු කරමින් , යම් සතෙකු  වර්ණ භාවිතාකොට ගිරි බිතක ඇඳිම හෝ යම් මාධ්‍යක් යොදාගෙන නෙලීම මඟින් එම කාලානිර්මාණය කළ ශිල්පියාට එම සත්වයා සතු ජවය ආරෝපණය වේ හෝ එම සතාගෙන් සිදුවන අතුරු ආන්තරාවකින් මිඳිය හැකිය යන විශ්වාසය නිසා  මෙම සිතුවම් ඇඳ තබන්නට ඇති බව විශ්වාස කරති.

යම් සතෙකු වර්ණ භාවිතාකොට ගිරි බිතක ඇඳිම මඟින් එම ශිල්පියාට එම සත්වයා සතු ජවය ආරෝපණය වේ විශ්වාසය නිසා මෙම සිතුවම් ඇඳ තබන්නට ඇති බව විශ්වාස කරයි“_Burian, Zdenek, prehistoric_artist, 1961
යම් සතෙකු වර්ණ භාවිතාකොට ගිරි බිතක ඇඳිම මඟින් එම ශිල්පියාට එම සත්වයා සතු ජවය ආරෝපණය වේ විශ්වාසය නිසා මෙම සිතුවම් ඇඳ තබන්නට ඇති බව විශ්වාස කරයි“_Burian, Zdenek, prehistoric_artist, 1961

එම සත්වයා දඩයම් කළ දඩයක්කරුවා විසින් ඔහුගේ ජයාග්‍රාහි ක්‍රියාව අන් අය වෙත පෙන්වීම සඳහා එසේ කරන්නට ඇති බව යන අදහස ද එලෙස කළ සිතුවම් දඩයමට පෙර සිදුකරන ලද මානසික සූදානමක්ද විය හැකි බව යන අදහස්  ද  තවත් පිරිසක් විසින් ඉදිරිපත් කරණු ලැබ ඇත.

මෙම සිතුවම් සියල්ලක්ම අවබෝධ කරගැනීමට ප්‍රාග්ඓතිහාසික සිතුවම් විශේෂඥයෙකුට ජීවිතකාල දෙකක් වත් ගතකිරීමට සිදුවන අතර  කෙසේ වෙතත් එමඟින් ලෝකයේ මෙතෙක් අවම වශයෙන් අනාවරණය නොකරගත් පෙදෙසක  දිවිගෙවූ ප්‍රාග්ඓතිහාසික ප්‍රජාවක් මෙන්ම ඔවුන් පැවති දුෂ්කර පාරිසරකි තත්ත්වයන්ට අනුගත වූයේ කෙසේද යන්න ගැන තව තවත් දුලබ තොරතුරු මතු අනාගතයේ දී  ලබා ගැනීමට එමඟින් හැකිවනු ඇත.

දිනේෂ් දේවගේ

මෙම ලිපියට පාදක වු ඉංග්‍රීසි ලිපිිියට මේ සැබැඳිය ඔස්සේ පිවිසෙන්න.

Photo Credit: Ella Al-Shamahi

මහාථූප නාමකරණයේ විවිධත්වය කාල අවකාශීය පරිණාමය තුළ සලකා බැලීමක්….

හැඳින්වීම:

බෞද්ධ ස්තූපකරණයට අදාළ ලාංකේය අත්දැකීම් වඩාත් විශ්වසනීය ලෙස ක්‍රි. පූ. තුන්වන සියවස දක්වා පසුපසට ගෙන යා හැකි බව ප්‍රකට කරුණකි. එතැන් සිට වර්තමානය දක්වා කාල අවකාශය තුළ ඉදි කරන ලද දහස් ගණනක් වන ස්තූප අතුරින් තුනක් ‘මහදාගැබ්’ යනුවෙන් විශේෂ කරනු ලැබේ. ක්‍රි. පූ. දෙවන සියවසේ දී දුටුගැමුණු රජු විසින් කරවන ලද ‘මහාථූපය’ ඉන් පළමුවැන්න යි. එය මහාවිහාරයේ වාස්තුවිද්‍යාත්මක සාඩම්බරය විය. දෙවැන්න ක්‍රි. පූ. පළමුවන සියවසේ දී වලගම්බා රජු විසින් කරවන ලදැ යි සැලකෙන අභයගිරි ස්තූපය යි. ක්‍රි. ව. සිව්වන සියවසේ දී පමණ මහසෙන් රජු විසින් කරවන ලද ජේතවන ස්තූපය තෙවැනි මහාථූපය ලෙස සම්මතව පවතී. මේවා ඉදි වූ කාල අන්තරයට සාපේක්ෂව ඒවායේ විශාලත්වයේ වර්ධනයක් ද සිදු විය.  ඒ අනුව මහාවිහාරයේ මහාථූපයට වඩා අබයගිරි ස්තූපය ද, අභයගිරි ස්තූපයට වඩා ජේතවන ස්තූපය ද ප්‍රමාණාත්මක විශාලත්වයකින් නැගී සිටියේ ය.  කෙසේ වෙතත් මහාවිහාරයේ මහාථූපය විසින් අත්කරගන්නා ලද පිළිගැනීම හා කීර්තිය අභිබවා යාමට අනෙකුත් ස්තූපවලට කිසි විටෙකත් හැකියාවක් නොවී ය. සියවස් ගණනාවක් පුරා එහි නාමකරණය බහුවිධතාවකින් යුතුව සමාජය විසින් පවත්වාගෙන විත් ඇති ආකාරය පමණක් වුව ද ඊට සාක්ෂ්‍යයකි. මේ ලිපියෙන් මහාථූප නාමකරණයේ විවිධත්වය කාල අවකාශය තුළ පැවත ආ ආකාරය සියුම්ව අවධානයට ලක් කෙරේ.

මහාථූපය
මහාථූපය
  1. මහාථූප

වර්තමානයේ රුවන්වැලි, රුවන්මැලි, ස්වර්ණමාලි ආදී නම්වලින් හැඳින්වෙන ස්තූපයේ මුල් නාමකරණය සාහිත්‍ය මූලාශ්‍රයෙහි දැක්වෙනුයේ ‘මහාථූප’ යනුවෙනි- කල්‍යාණගමනයට අදාළව මහාවංසයේ මේ නාමය පළමුවරට දක්වා තිබේ- ඒ අනුව දීඝවාපියේ සිට මහාමේඝවනාරාමස්ථානයට වැඩි භාග්‍යවතුන් වහන්සේ සිය ශ්‍රාවකයින් සමග මහාබෝධිය පිහිටවනු ලබන ස්ථානයේ ද මහාථූපය පිහිටුවනු ලබන ස්ථානයේ ද සමාධිගතව වැඩ සිටියහ (ii:81). මහාවංසයේ ද, කාම්බෝජ මහාවංසය, දාඨාවංසය (88 ගාථාව), මහාබෝධිවංසය (79) වැනි පසුකාලීන සාහිත්‍ය මූලාශ්‍රයවල ද මහාථූප යන්න නැවත නැවතත් භාවිත කර තිබෙනු දක්නා ලැබේ. මහාථූපස්ථානයට වැඩි මිහිඳු හිමියන් එහි දී හටගත් භූකම්පනයට හේතු රජුට පැහැදිලි කිරීම විස්තර කෙරෙන තැන්වල දී මහාථූප යන යෙදුම භාවිතව නොතිබීම අවධානයට ලක් විය යුත්තකි. ඒ අවස්ථාවට අදාළව බොහෝ සාහිත්‍ය මූලාශ්‍රයෙහි භාවිතව ඇත්තේ එම ස්ථානයෙහි අනාගතයෙහි ථූපයක් කරවනු ලබන බවයි. මහාවංසයේ වුව ද ස්තූප නාමය දක්වා ඇත්තේ ඉන් පසුව ය (xv:166, 167)- තද් ස්තූපයට ‘මහා’ යන විශේෂණය ආදේශ වූයේ ඉදිකිරීමෙන් තරමක් පසුකාලීනව යැ යි සිතීමට ඉඩ තිබේ. ක්‍රි. පූ. පළමුවන සියවස දක්වා බෞද්ධ ලෝකයේ දක්නා ලද දැවැන්ත ම ස්තූපය එය වූ බවට කිසිදු සැකයක් නැත.  මේ දැවැන්තභාවය ද, නිධන්ගත ධාතූන්ගේ මහත්වය ද නිසා ‘මහාථූප’ යන නාමට ඊට අත්‍යන්තයෙන් ම ගැළපී ගියේ ය. තවදුරටත්, ප්‍රථම වරට එක්සත් රාජ්‍යයක් බිහිකළ ශ්‍රේෂ්ඨ නරපතියා විසින් කරවනු ලැබීම ‘ථූපය’, ‘මහාථූපය’ බවට පරිවර්තනය වීම කෙරෙහි වඩාත් සහේතුක පදනමක් නිර්මාණය කළ බව පෙනේ. ‘මහාථූප’ යන්නට මහාබෝධිවංශ ග්‍රන්ථිපදයෙහි සපයා ඇති අරුත් නම් ‘මහතුඹුරුප්’ යනු යි (බලන්න, ම. බො. ග්‍ර. 157).

  1. මහතුබ

ක්‍රි. ව. දෙවන සියවසට අදාළව රුවන්වැලි සෑ භූමියෙන් හමු වී ඇති අභිලේඛනයක ‘මහතුබ’ යන යෙදුම දැකගත හැකි ය (ibid 1983:no.86). කණිට්ඨතිස්සගේ පාලන සමයට අයත් මේ අභිලේඛනය මහාථූපයේ පූජාවට වැයවන මුදල් පිණිස මහාසිව තෙරුන්ගේ මලණු වූ බෝධි නම් අයෙකු විසින් මතක වැවේ මත්ස්‍ය භාගය ද, ඊට අයත් තණ බිම ද, වැව් බිම ද, බැම්ම ද, බැම්ම ප්‍රදේශය ද, කරිස අටක වතු ද යන මේවා ප්‍රදානය කිරීමක් ප්‍රකාශ කරන්නකි. ‘මහතුබ’ යනු ‘මහාථූප’ යන පාලි නාමයේ සිංහල ප්‍රාකෘත රූපය යි. එබැවින් ඒවා අතර අර්ථ වශයෙන් වන  වෙනසක් දැකිය නොහැකි ය. මෙහි දී අමතක නොකළ යුත්තක් නම් මහතුබ යන්න ඇතැම් ප්‍රදේශීය ස්තූප සඳහා ද භාවිත වී ඇති බව යි. නිදසුනක් ලෙස වසබ රජුගේ රාජ්‍ය කාලයට අයත් කාසිමොටෙයි පර්වත ලිපිය පෙන්වා දීමට පුලුවනි. තද් ස්ථානයේ පැවැති ස්තූපයක දකරණියේ හා මුද්ධවේදියෙහි තෙල් ආලේප කිරිමකට අදාළව ‘මහතුබහි දකරණිය චත මුද වටියෙහි හවජර තිනි කල තෙල මකනකෙ…’ යන පාඨය එහි ඇතුළත්ව පවතී. එහෙත් පෙර කී ලිපිය ස්ථානගතව ඇති ස්වභාවය හා එහි සන්දර්භය සැලකිල්ලට ගත් විට ඉන් අදහස්ව ඇත්තේ මහාවිහාරයේ මහාථූපය ම බව පැහැදිලි ය.

  1. මහාචේතිය

ථූප හා චේති සමානාර්ථවත්ව භාවිත වන බැවින් ‘මහාචේති’ යනු ද ‘මහාථූප’ යන්නෙහි ම තවත් ස්වරූපයක් සේ ගිණිය යුතු වෙයි. මහාවංස, සමන්තපාසාදිකා, විසුද්ධිමග්ග, පාලි ථූපවංස හා පාලිමුත්තක විනයවිනිච්ඡ යන මූලාශ්‍රයෙහි ‘මහාචේති’ යන භාවිතය දක්නා ලැබේ. සමන්තපාසාදිකාවෙහි ’…තතියං පඤචසත භිකඛු පරිවාරො ආගන්‍තවා මහාචෙතියටඨානෙ ච ථූපාරාම චෙතියටඨානෙ ච..(S.P. :89) යන පාඨය එක් නිදසුනකි. සුමංගලවිලාසිනියේ සම්පසාදනිය සූත්‍ර වර්ණණාවෙහි  ධාතුපරිනිර්වාණය විස්තර කරන තැන, ‘…සාසනසස කිර ඔසකකන කාලෙ ඉමසමිං තමබපණණි දීපෙ ධාතුයො සනනිපාතෙත්‍වා මහාචෙතියං ගමිසසනති- මහාචෙතියතො නාගදීපෙ රාජායතන චෙතියං…’යැ යි සඳහන් කරනු දක්නා ලැබේ (S.V.i:899). මේ සැම අවස්ථාවක දී ම ‘මහා’ යන්න ථූප හෝ චෙති යන්නට විශේෂණ ලෙස භාවිත වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට පුළුවනි. ඒ අනුව ‘මහා’ යන්න මේ ස්තූපය අනෙකුත් ස්තූපවලින් වෙන් කොට දක්වන, ප්‍රධාන කොට දක්වන අනන්‍යකරණ යෙදුම බවට පත්ව තිබේ. මෙරට ප්‍රථම ඓතිහාසික ස්තූපය ලෙස සැලකෙන ථූපාරාමය එවක හෝ මහාථූප යන නමින් හැඳින්වූයේ නැත- ථූපාරාමය ලෙස හඳුන්වා ඇත්තේ එකී ස්තූපය පිහිටි ආරාමය මිස ස්තූපය නොවේ. ඊට හේතු වූයේ සමකාලීනව වෙනත් ස්තූප සහිත ආරාම නොපැවතීම විය යුතු ය. නැතහොත් ථූපයක් සහිත පළමු ආරාමය වීම විය යුතු ය. එහෙත් සියවස් දෙකකට ආසන්න කාලයක දී ස්තූපකරණයේ ව්‍යාප්තියක් ඇති වූ බැවින් එතෙක් පැවැති ස්තූප අතරින් ප්‍රධාන වන්නේ යැ යි සම්මත වූ ස්තූපය ‘මහාචේති’ හෝ ‘මහාථූප’ ලෙස අනන්‍ය කරනු ලැබීම අපේක්ෂා කටයුත්තකි.

  1. මහදාගැබ

මහාථූප, මහාචේති යන්නෙහි පසුකාලීන සිංහල රූපයක් ලෙස ‘මහදාගැබ’ පෙන්වාදීමට පුලුවනි. අපට හමු වූ සිංහල ථූපවංස පුස්කොළ පිටපතක මේ යෙදුම බහුලව දැකිය හැකි විය. පාලි ‘ධාතුගබභ’ හා සංස්කෘත ‘ධාතුගර්භ’ යන්නෙන් නිපන් ‘දාගැබ’ යන වදනින් මුල් කාලයේ අදහස් කරන ලද්දේ ධාතු තැන්පත් කරන ලද කුටිය යි. එහෙත් පසුකාලීනව මේ විශේෂතාව පසෙක ලා සමස්ත ස්තූපය ම දාගැබ ලෙස හඳුන්වන ලදි.

  1. හෙමමාලි

            මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජුට අනාගතයේ දී මහාථූපකරණය සිදුවන ආකාරය පැහැදිලි කිරීමට අදාළව මහාවංසයේ ප්‍රථමවරට ‘හෙමමාලි’ යන නාමය භාවිතව තිබේ (xv:167). නැවතත් එහි ම දහහත්වන පරිච්ඡේදයේ බුදුන් වහන්සේගේ පඤ්ච මහා අධිෂ්ඨාන විස්තර කරන තැන පස්වන අධිෂ්ඨානය සම්බන්ධයෙන් ‘හෙමමාලික චෙතිය’ නිරූපණය වී ඇත (xvii:51). වංසත්ථප්පකාසිනිය ද ඒ සම්බන්ධයෙන්, ‘…මමාමලාති, මයහං අමලා දොණමතතා ධාතුයො හෙමමාලික චෙතියෙ පතිටඨහනතියො බුදධවෙසධරා හුත්‍වා නහමුගගන්‍තවා නහසි ඨිතා පාටිහාරියං කරිත්‍වාන ධාතුගබභමහි සුපඤඤතතාසනෙ පතිටඨන්‍තූ ති තෙන කතමිදං පඤචමධිටඨානන්‍ති සමබන්‍ධො කාතබෙබා…..’ යන විග්‍රහය සපයා ඇත (ව. කා. 272). ‘හේම’ රන් සඳහා පර්යායව යෙදෙන්නකි. එබැවින් ‘රන්මාලාවෙන් යුත් යන අදහස එහි ගැබ්ව පවතී. මහාථූප ධාතුගර්භය බුද්ධචරිත, ජාතක කතා ආදිය නිරූපිත ඝන රනින් කරවන ලද ප්‍රතිමා සමූහයන්ගෙන් යුක්ත වී යැ යි මහාවංසය ද, වංසත්ථප්පකාසිනිය ද සඳහන් කරයි. එබැවින් රනින් විභූෂිත ධාතුගර්භයකින් යුතු ස්තූපයකට ‘හේමමාලි’ යන ආමන්ත්‍රණය බෙහෙවින් යෝග්‍ය ය.

දළදා වැඩමවීම විස්තර කරන පූජාවලිය හේමමාලි කුමරියගේ නාමය ‘රන්මාලි’ ලෙස සිංහලට පරිවර්තනය කර ඇති බව ද මේ සමග සිහිපත් කළ යුතු ය.

‘..කිත්සිරිමෙවන් රජහු රජය ලත් නවවන්නෙහි දඹදිව කලිඟු රට දන්තපුරයෙහි ගුහසීව නම් රජහු දූ රන්මාලි නම් කුමරිය හා…’(777) යනු පූජාවලි පාඨය යි.මේ අනුව හෙමමාලි චේතිය යන්නට පර්යාය යෙදුමක් ලෙස ‘රන්මාලි චෛත්‍යය’ යැ යි භාවිත කිරීමට යමෙකු යෝජනා කළහොත් එහි වරදක් නොපෙනෙයි.

  1. රත්න චෛත්‍ය, රත්න දාගොබ

ක්‍රි. ව. දොළොස්වන සියවසට පමණ අයත් නිශ්ශංඛමල්ලගේ රුවන්වැලි සෑ පුවරු ලිපිය අවසානයේ මහාථූපයට පර්යාය නාමයක් වශයෙන් රත්න චෛත්‍ය යන යෙදුම අන්තර්ගතව ඇත. ‘ශ්‍රී ධාම්නා රත්න චෛත්‍යෙ පචිතිමවිකලෛය්‍යෙන’ යනු අභිලේඛන පාඨය යි (Paranavitana 1994:77, 78). රුවන්වැලි හා රුවන්මැලි යන නාමවල සංක්ෂිප්තකරණයක් රත්න යන්නෙහි ඇතුළත් වන්නේ යැ යි යමෙකුට හැඟී යාමට පුලුවනි. රත්න යනු රුවන් ය. වර්තමානයේ ඉන් මාණික්‍යමය පාෂාණ අදහස් කෙරෙන නමුදු අතීත භාවිතය ඊට වඩා පුළුල් අර්ථයකින් යුතු වූ බවට සාධක පවතී. රුවන් වර්ග සතක් පිළිබඳ සාහිත්‍යයේ නොයෙක් තැන්හි කියැවේ. ඒවා සත්රුවන් නම් වී. සත්රුවන් නම්, සුවණණං (රන්), රජතං (රිදී), මුතතා (මුතු), මණි (මැණික්), වෙළුරියානි (වෛදූර්ය), වජිරං (දියමන්ති), පවාළං (පබලු) යන මේවා ය (බලන්න, අ. දී. 68). මහාවංසය, වංසත්ථප්පකාසිනිය, ථූපවංසය, ධර්මප්‍රදීපිකාව ආදී මූලාශ්‍රයවල මහාථූප ධාතුගර්භය රතනමය වස්තූන්ගෙන් පිරී ඇති ආකාරය විස්තරාත්මකව නිරූපණය කර තිබේ. එබැවින් එකී අන්තර්ගතයේ ස්වරූපය මත රත්න චෛත්‍ය යන නාමකරණය සිදුව ඇති බවට සැක නැත. ක්‍රි. ව. 18/19 සියවස්වල පමණ රචනා වන්නට ඇතැ යි සිතිය හැකි රත්තනවල්ලිගේ කවි අතරින් ඇතැමෙක මහාථූපය හඳුන්වා ඇත්තේ ‘රත්න දාගොබ’ යනුවෙනි. එම සන්දර්භය තුළ ඊට හේතු වී ඇත්තේ රුවන් තැන්පතුව පිළිබඳ අදහස නොව රත්නවල්ලිය පිළිබඳ ස්මරණය බව පෙනී යා යුතු ය. අපගේ අදහස නම් මුල්කාලීන භාවිතයක ප්‍රභවය පසුකාලීනව වෙනස්ව ගොස් විකල්ප ප්‍රවාද ගොඩනැගීම මගින් රත්නවල්ලි කථාව මහාථූප නාමකරණයට ආදේශ වී ඇති බව.

  1. රතනවාලුක/ රතනවාලික

යටත්පිරිසෙයින් ක්‍රි. ව. 7-9 සියවස් අතර දී රචනා කෙරෙන්නට ඇතැ යි සැලකෙන සහස්සවත්ථුප්පකරණයේ අවස්ථා දෙකක දී පමණ මේ නාමයෙන් මහාථූපය අනන්‍යව ඇත. එහි අසූහයවන කථාව සංඝ අමාත්‍ය වස්තුවයි. මේ කථාවේ එක් තැනෙක, ‘…තදා සා කුමාරිකා දකඛිණ විහාරෙ චෙතියඤච මහාවිහාරෙ රතනවාලික චෙතියඤච ඔලොකෙත්‍වා..’යනු දක්නා ලැබේ (ස. ව. 176). හතළිස්හයවන කථාව දුටුගැමුණු රජුගේ කථාව යි. මහාථූපය නොනිමි කල්හි රජු මරණ මඤචකයට වැටුණු බව කීමේ දී, ‘…අපරභාගෙ රතනවාලුක මහාථූපෙ අනිටඨිතෙ යෙව රාජා මරණමඤෙච නිපජජි…’ යන වැකිය  ඇතුළත් කොට ඇත (එම 107). මේ දෙතැන්හි ම අදහස් කොට ඇත්තේ මහාවිහාරයේ ප්‍රධාන ස්තූපය වූ මහාථූපය ම බව පෙනී යා යුතු ය. පොළොන්නරු යුගයේ දී උපතිස්ස නම් හිමිනමක විසින් රචනා කරන ලදැ යි සැලකෙන පාලි මහාබෝධිවංසයෙහි, ‘…රතනවාලුක චෙතියො නාම අසදිසො මහාථූපො භවිසසතී ති වත්‍වා…..’යනුවෙන් මහාථූපය විශේෂ කරනු පිණිස ‘රතනවාලුක චෙති’ යන යෙදුම භාවිත කර තිබෙන බව මේ සමග සිහිපත් කිරීම වටියි (බලන්න, ම. බො. ව. 83). පළමුවන පරාක්‍රමබාහුගේ අනුරාධපුර ප්‍රතිසංස්කරණවලට අදාළව ද ‘රතනවාලුක’ යන්නෙන් මහාථූපය අනන්‍ය කර ඇති ආකාරය මහාවංසයෙන් දැක ගත හැකි ය (lxxvi:101). ‘වාලුක’ යනු වැලි අර්ථවත් පාලි වචනයක් බැවින් රතනවාලුක යන්නෙන් ‘රුවන්වැලි’ යන නාමකරණය අවධාරණය වෙයි. එහෙත් වැලි අර්ථවත් ‘වාලුක’ ශබ්දය ‘රතන’ සමග සම්බන්ධ කරන ලද්දේ කුමන පදනමක් මත දැ යි අපැහැදිලි ය. එය ‘මාලි’ හෝ ‘මාලික’ යන්නෙහි විකෘතියක් වීමට වැඩි සම්භාවිතාවක් පවතී. එසේ වී නම් ‘රතනවාලුක’ යන්න ‘රතනමාලික’ යන්නෙහි දූෂ්‍ය රූපයක් සේ සැලකීම අසාධාරණ නොවේ.

  1. රුවන්වැලි

නිශ්ශංඛමල්ලගේ රුවන්වැලි පුවරු ලිපියෙහි රුවන්වැලි දාගැබ් වහන්සේ, රුවන්වැලි මළුවට වැනි යෙදුම් දක්නා ලැබේ. ‘…පුලස්තිපුරයෙහි වැඩැවසන සෙයෙක් රුවන්වැලි දාගබ් වහන්සෙ දා වන්‍දනා පිණිසැ…දාගබ් වහන්සේ පෙනෙන මානයෙහිදිමැ වාහනයෙන් බැසැ ශ්‍රී පාදයෙන් රුවන්වැලි මළුවට වැඩැ මළුවෙහි වැලි තවරන්නා සේ අනන්ත මුතු අතුටැ…’යනු අභිලේඛන පාඨය යි (See, Paranavitana 1994:77). ‘රතනවාලුක’ යන පාලි වචනයෙහි සිංහල රූපය ‘රුවන්වැලි’ ලෙස පෙනී සිටියි. ‘රතනවාලුක චෙතියො’ යනු විග්‍රහ කරන මහාබොධිවංශ ග්‍රන්ථිපදය ‘රුවන්වැලි මහ සෑ නම්’ යන අර්ථ ඊට සපයා තිබේ (152). එබැවින් මෙම නාමකරණය ද පසුකාලීන භාවිතයත් සමග ඇති වූ විකෘතියක් ලෙස සැලකුව මනා ය. ’රුවන්වැලි’ යන වචනය  ‘රන් පැහැති වැලි’ අර්ථයෙන් භාවිත අවස්ථාවක් බුද්‍ධ රාජාවලියේ දැක්වේ. ඒ අනුව,

‘…සොමනෙත්‍ර තෙරුන්වහන්සේ දිවැසින් එබව දැක මහපොළොව ගිලී මහමෙර පල්ලේ ගිලී තුබූ රුවන්වැලි උකහාගෙන අවුත් දියකාවෙකු මෙන් උතුරු දිගින් පොළොවට කිමිද එලි බැස පූර්ණ චන්ද්‍රයා මෙන් බෝමළුවට වැඩ රුවන්වැලි අතුරා සාධුකාර පැවැත්වූහ…..(43). එහෙත් මෙම සන්දර්භය මහාබෝධි ප්‍රතිෂ්ඨාපනය සහ සම්බන්ධ බැවින් මහාථූප නාමයට අදාළ වූවක් නොවේ. සද්ධර්මාලංකාරය, තෙරුවන්මාලය හා අනුරාධපුර වටවන්දනා මාලය වැනි මූලාශ්‍රයේ ද රුවන්වැලි නාමය සඳහන්ව ඇත. සිංහල මාලකවි අතරට අයත් වන්දනා මාලය ආර්. එම්. මල්හාමි නමැත්තෙකුගේ රචනයෙකි. එහි කවි දහසයක පමණ රුවන්වැලි යන නාමය හුවා දක්වා තිබේ. ඒ අතරින් කිහිපයක් පහත පරිදි ය.

සතට වඳින්නට බැඳිය රුවන්වැලි (60 කව), සිත් සතොසින් නමදිමුව රුවන්වැලි (61 කව), නමදු දිනෙන් දින මෙවන් රුවන්වැලි (62 කව), මුදවා දුක් සැම වඳිමු රුවන්වැලි (63 කව), නිමල උතුම් වඳිනෙමුව රුවන්වැලි (64 කව), බැතින නමා හිස වඳිමු රුවන්වැලි (65 කව), තැබුයුත් එඋතුම් වඳිමු රුවන්වැලි (66 කව), උත්තම දාගැබ වඳිමු රුවන්වැලි (67 කව), කර ගවුරවයෙන් වඳිමු රුවන්වැලි (68 කව), සාදු සාදු නමදිමුව රුවන්වැලි (69 කව), අනගි වු දාගැබ වඳිමු රුවන්වැලි (70 කව), දුකට පිහිටවෙන වඳිමු රුවන්වැලි (71 කව), පක්සපාතයෙන් වඳිමු රුවන්වැලි (72 කව), වැතිර වඳින්නෙමු දාතු රුවන්වැලි (73 කව), සුන්කර පස්පව් වඳිමු රුවන්වැලි (74 කව), තුන්ලොවටම ගුරු වඳිමු රුවන්වැලි (75 කව), හිසා නමා වඳිනෙමුව රුවන්වැලි (76 කව), සමාවෙවා මට දාතු රුවන්වැලි (77 කව).

  1. රුවන්මැලි

මහාථූපය පර්යාය නාමයක් ලෙස ව්‍යවහාර කරනු ලබන ‘රුවන්මැලි’ යන්න ‘රතනමාලික’ යන පාලි යෙදුමේ සිංහල රූපය යි. එහි අර්ථනිෂ්පත්තිය පැහැදිලිව දැක්වෙනුයේ පොළොන්නරු යුගයේ දී රචනා කරන ලද ධර්මප්‍රදීපිකාවෙහි ය. මහාබෝධිවංසයට ලියන ලද තුන්වන පරිකථාව ලෙස සැලකෙන ධර්මප්‍රදීපිකාවෙහි මහාවිහාර පටිග්ගහණ කථා යටතේ රතනමාලික චේතිය අසදිස වන ආකාරය විස්තර කරනුයේ පහත පරිදි ය.

‘…මෙසේ පන්සාලිස් හවුරුදු සිටැ අර්ථක්‍රියා කොට සතප්නට වැඩහොත් බුදුන් බඳු ධාතු ශරීරයෙන් පවිත්‍ර වන බැවින් එදාගැබ් අසදෘශ විය. ධාතුගර්භය රත්නමාලා ලංකෘත වන බැවින් රුවන්මැලි නම් වී…’(407). සිංහල බෝධිවංසයේ ද අවස්ථා කිහිපයක දී ම රුවන්මැලි යන ව්‍යවහාරය භාවිත කර ඇති අයුරු දක්නා ලැබේ- එහි නගරප්‍රවේශ කථාවෙහි, ‘…මේ රුවන්මැලි මහසෑය පිහිටියමනා තැන ද…’ යන පාඨය ද, ධාතු අන්තර්ධානයට අදාළව දැක්වෙන, ‘…එකල්හි මේ ලක්දිව ධාතූහු රැස්ව රුවන්මැලි දාගබට වඩනා සේක…’ යන පාඨය ද ඊට නිදසුන් වෙයි (සි.බෝ. ව.171, 179). පූජාවලිය ද ‘රුවන්මැලි’ යන භාවිතයට පෙළඹුණු ආකාරයක් නිරීක්ෂණය කිරීමට පුලුවනි (බලන්න, පූ. ව. 712, 766).

  1. රත්නමාලි

සිංහල ථූපවංසය, සිංහල බෝධි වංසය, සද්ධර්මාලංකාරය යන මූලාශ්‍රයවල මහාථූපය උදෙසා රත්නමාලි යැ යි ව්‍යවහාරිත ය- මෙය පැහැදිලිව ම රුවන්මැලි යන්නෙහි තවත් ස්වරූපයකි. සිංහල ථූපවංසය දඹදෙණි යුගය අවසන් වීමට ආසන්න පෙර කාලයක ලියවෙන්නට ඇති බව කියැවේ. එහි කතුවරයා සකලවිද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් අයෙකි. මහාථූපය පිණිස රත්නමාලි යන නාමය භාවිත කරමින් ඔහු පවසා ඇත්තේ, ‘…ඒ බුදුරජාණන් වහන්සේගේ තිඹක් පමණ ධාතූන් වහන්සේ නිධාන කළ නොයෙක් රත්නයන්ගෙන් උජ්ජ්වලිත වූ රත්නමාලි නම් චෛත්‍යය වර්ණනා කරනා බව….’ යි (සි. ථූ. ව. 01). මේ ලේඛකයා ධාතුගර්භයේ වී යැ යි කියන මැණික් සමූහ ස්තූප නාමකරණයට අදාළ කරගත් සේ ය. ක්‍රි. ව. 18වන සියවසට පමණ අයත් විය හැකි දඹුලු විහාර සිතුවම් අතර මහාථූප ධාතුගර්භය ද නිරූපිත ය. එහි ධාතුප්‍රාතිහාර්යය දැක්වෙන සිතුවමට ඉහළින්, ‘බුදුන්ගේ අදිෂඨානයෙන් ධාතූන් වහන්සේ රත්නමාලි චයිත්තයෙහි බුද්‍ධවිලාසයෙන් පන්දහසක් අවුරුදු ලෝවැඩ පිනිස සැතපුනු වගයි’ යන පාඨය සටහන් කොට තිබේ (චුටිවොංග්ස්, ප්‍රේමතිලක සහ සිල්වා 1990:100, pl.13). සද්ධර්මරත්නාකරයට අනුව, ‘…පන්සියයක් රහත්ගණයා පිරිවරා ධ්‍යානයෙන් මොහොතක් කල් වැඩහුන් මහපුළිල මලුයෙහි දෙවනපෑතිස් නරේන්ද්‍රයාණන් පළමු අකුරු කොටා සිටු වූ ටැඹෙහි තමන්ගේ නම දැක දුටුගැමුණු මහරජතෙමේ රත්නමාලී චෛත්‍යය ඒ ස්ථානයෙහි කරවූයේ ය..’ (323).  රුවන් හා රත්න සමානාර්ථවත් පද බැවින් ඒවා මුල්කොටගත් නාමකරණවල අර්ථය ද සාම්‍ය වෙයි- සද්ධර්මරත්නාකරයෙහි ද, ‘…දුටුගැමුණු මහරජතෙම රත්නමාලි චෛත්‍යය ඒ ස්ථානයෙහි කරවූයේ ය..’(323), ‘…රත්නමාලි චෛත්‍යය අද දක්වා සකල ලෝකවාසී සත්ත්වයන්ට උභයලෝකාර්ථසිද්ධි සම්පාදනය කරන්නේය…’ (325) වැනි යෙදුම් දක්නා ලැබේ.

  1. රතනමාලික

මහාථූපය හඳුන්වනු පිණිස රතනමාලික යැ යි යෙදී ඇත්තේ රසවාහිනියේ ය. එය රත්නමාලි යන්නෙහි වෙනත් රූපයක් බව පෙනේ.

  1. මණිමාලි

‘මණිමාලි’ යන්න මහාථූපයට පර්යායව භාවිතව ඇති ඉතා දුලබ ව්‍යවහාරයකි. මෙය දක්නා ලැබෙනුයේ සද්ධර්මරත්නාකරයෙහි දෙවනපෑතිස් විසින් මහාථූපකරණය පිළිබඳ ලියවා තැබූ රන්පත දුටුගැමුණුගේ අවධානයට ලක්වීම විස්තර කෙරෙන තන්හි ය. ‘…රන් කරඬුයෙක රන්පතෙක ලියා තුබූ අස්නෙක, මෙයින් මතු එක්සිය සතළිස් අවුරුද්දක් ගිය තැන දුටුගැමුණු නම් රජෙක් මණිමාලි නම් චෛත්‍යයක් කරවා..’ යනු සද්ධර්මරත්නාකර පාඨය යි (ස. ර. ක. 325). ‘රත්නමාලි’, ‘රුවන්මැලි’ යන නාම සහ ‘මණිමාලි’ අතර යම් සමානතාවක් ඇතැ යි යමෙකුට හැඟී යා හැකි ය. එහෙත් එහි ගැබ ඇත්තේ සාම්‍යතාවකට වඩා සියුම් විෂමතාවකි. ‘රතන’ හෝ ‘රුවන්’ යන්නෙන් සත්රුවන් හෝ ඉන් ඕනෑම වර්ගයක් අදහස් වීමට හැකියාව ඇති බැවින් එහි අනන්‍යතාව අවිනිශ්චිත ය. එහෙත් ‘මණි’ යන යෙදුමෙන් පැහැදිලිව ම මාණික්‍ය නැතහොත් මැණික් අර්ථවත් කරනු ලැබේ. එබැවින් එය නිශ්චිත ප්‍රකාශනයකි. මේ යෙදුම නිර්මාණය කළ ලේඛකයා රතන යනු මැණික් ය යන අදහසෙහි පිහිටියේ යැ යි අනුමාන කිරිමට පුලුවනි. එය තවදුරටත් හේමමාලි හා ස්වර්ණමාලි යන නාමවලට මුල් වූ සන්දර්භයට ප්‍රතිවිරුද්ධ හැඟීමක් ජනනය කරවයි.

ස්තූපයක් ‘මණි’ යනුවෙන් අනන්‍යකරණය කළ වෙනත් අවස්ථාවක් විනයට්ඨකථාවේ දක්නා ලැබේ- ඒ සක්දෙව් විසින් දකුණු අකුධාතුව සුමන සාමණේරයන්ට ලබා දීමට අදාළව ය.

’…සාධු භනෙත’ති ඛො සකෙකා දෙවානං ඉන්දො යොජනපපමානං මණිථූපං උගඝාඨෙත්‍වා දකඛිණකඛක ධාතුං නීහාරිත්‍වා සුමනසස අදාසි….(S.P. :84).

  1. රන්වැලි

මෙය හේමමාලි, ස්වර්ණමාලි, සොණණමාලි හා රන්මැලි යන නාමවල විකෘතිකරණයකි- පාලියෙහි ‘මාල’ ශබ්දය ස්ත්‍රී ලිංගාර්ථවත් එකකි. එයින් යුක්ත බව කියනු පිණිස ඊට ‘ඉ’ ප්‍රත්‍යය එක් කරනු ලැබේ. එබැවින් රන්මාලාවලින් යුතු බව කීමට යෙදිය යුත්තේ ‘රන්මැලි’ යන්නයි. ‘මාල’ ශබ්දය වෙනුවට වාලුකා ශබ්දයකින් නිපන් ‘වැලි’ යන සාවද්‍ය වදන එක්කර ගැනීම නිසා මෙහි අර්ථය දූෂණය වී තිබේ. අභිනව අනුරාධපුර වන්දනා මාලයෙහි රන්වැලි යන භාවිතය දැක ගැනීමට පුලුවනි.

උතුම් ගුණෙන් රන්වැලි සෑ බැන් දා

උතුම් විලස අපි වඳිමු ගොසින් දා (අ. අ.ව. මා. :14 කව).

  1. රන්මැලි

කමත් කවි අතර අසන්නට ලැබෙන, ‘රන්මැලි මහ වෙහෙර උසට ගෙනත් පුරව මේ කමතට’ ආදී තැන්වල පැණෙන රන්මැලි යන නාමය හේමමාලි යන්නෙහි වෙනත් රූපයකි. මාලි යන්න මලි, මැලි යනුවෙන් හැඩගස්වා ගැනීම ජන  ව්‍යවහාරයේ ඵලයක් වෙයි. රන්මලි, රුවන්මලි ආදියෙහි මෙනි.

15 රත්නවල්ලි

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති රත්නවල්ලි කවි ඇතුළත් පුස්කොළ පොත් අතුරින් අංක 766 දරන පුස්කොළ පොතෙහි කවි දෙස අවධානය යොමු කිරීමට පුලුවනි. එහි දී රන්තෙළඹුවේ දේවතාවිය වූ රත්නවල්ලිය සිය විමනෙන් බැස යනු පිණිස ඉදිරිපත් කළ කොන්දේසියත්, මහාථූපයේ නාමකරණයත් කියැවෙන ආකාරය පහත පරිදි ය.

09) අගේ වඩන රන් තෙළඹුව නසති    නු   ඹා

දඟේ වැටෙයි මහ රජ නොකරන් අසු    බා

ගඟේ වතුර යන මෙන් ලෙ බොමින්  සු බා

මගේ නමට බැඳපන් රත්න  දාගැ        බා

10) සත්ත වචන පවසන් නිරිඳු නොලසි   නේ

ගත්ත තුන් සරණ මුනිඳුගෙ අදහ ගෙ   නේ

නිත්ත පන් දහස පවතින ගුණ වරු     නේ

රත්නවල්ලි දාගොබ නම උපත උ      නේ (එම 2001:20)

අංක 335 දරන පුස්කොළ පොතෙහි කවිවලට වඩා මෙහි දක්නා ලැබෙන වෙනසක්  නම් ස්තූපයේ නාමය පූර්ණ වශයෙන් දැක්වීම යි. ‘රත්නවල්ලි’ යනුවෙනි. වර්තමානයේ ඇතැමුන් විසින් මහාථූපය හැඳින්වීම පිණිස භාවිත කරන ‘රුවන්වැලි’ යන්නෙහි ඡායාවක් ඉන් පිළිබිඹු කෙරේ. මහාවංසයේ ඇතැම් තැනෙක මහාථූපය හඳුන්වනු පිණිස රත්නාවලි යන නාමය භාවිතව ඇති බව මීට ඉහත සාකච්ඡා කරන ලදි. ඇතැම් විට එකී නාමය පසුකාලීන ව්‍යවහාර ඔස්සේ රත්නවල්ලි යනුවෙන් හැඩගැසෙන්නට ඇත. ඒ අනුව නව උත්පත්ති කථාවක් නිර්මාණය කර ගනු පිණිස සමකාලීන සමාජයට අවස්ථාවක් සැලසී තිබිණැ යි සිතීමට ඉඩ තිබේ. අංක 877 දරන පුස්කොළ පොතේ කවි ද මීට සමාන ය. යටත් පිරිසෙයින් ක්‍රි. ව. 18වන සියවසේ දී පමණවත් රචනා කරන්නට ඇතැ යි සිතිය හැකි වන්නිරාජාවලියේ කියැවෙන, ‘නාගලොව තිබූ ධාතු ගෙන්නවා රත්නවල්ලි දාගැබ කරවා’ යන පාඨය මේ සමග සිහිපත් වෙයි (බලන්න, ව. රා. 48). එහෙත් එහි ම ‘රුවන්වැලි සෑය’ යන ව්‍යවහාරය ද දක්නා ලැබේ. රත්නවල්ලි හෙවත් නවරත්නවල්ලි ඇදහීම රොඩීන් අතර පවත්නා ආගමික විශ්වාසයකි. එය ඉන්දියාවේ කේරළ දේශයේ කුරුම්බ නැතහොත් ශ්‍රී කුරුම්බ ඇදහීම සහ සමාන යැ යි ද, රොඩී කාන්තාවන් තැටි කරකවන අතරතුර මේ කවි ගායනා කළහ යි ද කියැවේ (බණ්ඩා සහ විජේපාල 2014:27).

16 සොණණමාලි  බුද්ධ ඇදහිල්ල (18)

‘සොණණමාලි’ යන නාමය මහාවංසයේ මුල්වරට දක්නට ලැබෙනුයේ මිහිඳු හිමිගේ අනාගත වාක්‍යය දුටුගැමුණු විසින් සිහිපත් කරන ලද අවස්ථාවට අදාළව ය. එය පහත උපුටනු ලැබේ.

මහාපුඤෙඤා මහාථූපං සොණණමාලිං මනොරමං

වීසංහත්‍ථසතං උචචං කාරෙසසති අනාගතෙ (ම. ව. 27:03)

මෙහි ‘සොණණ’ යනු ‘සුවණණ’ හෙවත් ‘ස්වර්ණ’ හෙවත් ‘රන්’ ය. එවිට ‘සොණණමාලි’ යන යෙදුම ‘හේමමාලි’ හා ‘රන්මැලි’ යන නාමවලට සාම්‍ය වෙයි. මහාථූපය රුවන්මැලි යනුවෙන් හැඳින්වෙනුයේ ධාතුගර්භය රත්නමාලාලංකෘත බැවිනැ යි යන ධර්මප්‍රදීපිකා විග්‍රහය මෙහි දී සිහිපත් වෙයි. ඒ අර්ථවිග්‍රහය ‘සොණ්ණමාලි’ යන්නට ආදේශ කළ විට මහාථූපය රන්මැලි යනුවෙන් හැඳින්වෙනුයේ ධාතුගර්භය රන්මාලාවලින් ලංකෘත බැවිනැ යි යෝජනා කිරීමට පුලුවනි. මහාවංසයේ මහාථූප ධාතුගර්භය රචනයට අදාළ දීර්ඝ විස්තර පරික්ෂා කර බලන්නෙකුට එහි නිරූපිත ප්‍රතිමා සංචිත ඝන රනින් කරවන ලදැ යි යන තොරතුරු සමග ගැළපීමෙන් මේ නාමකරණයේ ඖචිත්‍යය වටහාගැනීම අපහසු නොවේ.

පාලි ථූපවංසයේ ද ඉහත අවස්ථාවට ම අදාළව සොණණමාලි යන නාමය භාවිත කර තිබීම විශෙෂත්වයකි. ‘…එවමාහ නතතා තෙ මහාරාජ දුටඨගාමණී අභයො වීසං හත්‍ථසතිකං සොණණමාලිං ථූපං කාරෙසසති…’(142) යනු ථූපවංස පාඨය යි.

17 රතනාවලි

මහාපරාක්‍රමබාහුගේ අවධියේ සිට යටත්පිරිසෙයින් දඹදෙණියේ සිව්වන විජයබාහුගේ කාලය අවසන් වන තෙක් මහාථූපය හැඳින්වීම පිණිස මහාවංසයේ භාවිතව ඇත්තේ ‘රතනවාලුක’ හා ‘රතනාවලි’ ආදී විශේෂණ ය. දෙවන පරාක්‍රමබාහු විසින් මහාථූපයේ පිළිසකර ඇරඹීම ද, එම කටයුතු සිව්වන විජයබාහු විසින් අවසන් කිරීම ද සඳහන් කරන තැන්වල ‘රතනාවලි’ යන විශේෂණය භාවිත කර ඇත.

විදධසතං පරසතතූහි රතනාවලි චෙතියං

බන්‍ධාපෙත්‍වාන සොවණණ ථූපෙනාලංකරොහි තං (ම. ව. lxxxv:66)

අථ සො පිතුරාජෙන රතනාවලි චෙතියෙ

ආරදධං නවකමමනතං කත්‍වා අපරිනිටඨිතං (එම lxxxvi :83)

‘ආවලි’ යනු වැල යි. එහෙයින් ‘රතනාවලි’ යනු රුවන්වැල විය යුතු. කෞටිල්‍ය විරචිත අර්ථ ශාස්ත්‍රයේ විසිනවවන ප්‍රකරණය භාණ්ඩාගාරයේ තැබීමට සුදුසු රුවන් පිළිබඳ පරීක්ෂණ විස්තර කිරීමට වෙන් වී ඇත. එහි කියැවෙන පරිදි රන් හා මැණික්වලින් ගොතන ලද මුතුවැල ‘රත්නාවලි’ නම් වෙයි. ‘…හෙමමණිචිත්‍රා රත්නාවලී…..’(කෞ. අ. ශා.xxix:23). ඒ අර්ථයෙන් සලකන විට ‘රතන’ යනු රන්, මැණික් හා මුතු සංකලනයකි.

  1. අසදිස

මිහිඳු මාහිමියාණන් වහන්සේ දෙවනපෑතිස් රජුට මහාථූපස්ථානය පිළිබඳ සඳහන් කරමින්, මේ ස්ථානයෙහි අනාගතයේ භාග්‍යවත් බුදුන්ගේ අසදිස මහාථූපය පිහිටන්නේ යැ යි වදාළ බව විනයට්ඨකථාවේ කියැවේ (S.P. :101). වෙනත් කිසිදු ස්තූපයක් සමග සැසඳිය නොහැකි කරුණු සමූහයකින් යුතු වන බැවින් මහාථූපය ‘අසදිස’ යන නාමයෙන් විශේෂ කරන ලදි. ඊට මුල් වූයේ භෞතික විශාලත්වයටත් වඩා ධාතුගර්භයේ විභූතිමත්භාවය යැ යි යෝජනා කළ හැකි ය. මහාවංසයේ පරිච්ඡේදයක් පුරා විස්තර කෙරෙන ඒ විභූතිය පාඨකයාට ඒත්තු ගැන්වීම පිණිස වංසත්ථප්පකාසිනී කතුවරයා ද මහත් ප්‍රයත්නයක් දරා තිබෙනු දක්නා ලැබේ. උදාහරණ කථා ගණනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මෙසේ කියයි-

‘..ඉක්බිති ධාතුගර්භ රචනය අසා, ‘තැන්පත් කරන ලද පූජා උපකරණ සම්භාරය සඳහා මෙම ධාතුගර්භය සෑහේ දෝ’ යි යනුවෙන් උපන් විමති ඇති මිථ්‍යාදෘෂ්ටික වූ, අඥාන වූ පෘථග්ජනයන්ගේ විමති නිරාකරණය පිණිස හේතු යුක්ති දක්වන්නාහු, ‘සබබං රාජිද්ධියා එතං’ යන ආදි ගාථාව කීහු. එහි තැන්පත් කරන ලද සියලු පූජා භාණ්ඩ සම්භාරය රජුගේ රාජර්ද්ධිය ද, දෙවියන්ගේ දේවර්ද්ධිය ද, ආර්යයන්ගේ ආර්යර්ධිය ද හේතු කොට ගෙන එකිනෙකට අවහිර නොවන සේ ධාතුගර්භය තුළ පිහිටියේ යැ යි අර්ථ යෝජනා කටයුතු යි…’ (439).

පොළොන්නරු යුගයේ දී රචිත ධර්මප්‍රදීපිකාවෙහි මහාවිහාර පටිග්ගහණ කථා යටතේ රතනමාලික චේතිය අසදිස වනුයේ කෙසේ දැ යි විග්‍රහ කර ඇත. එහි කියා ඇත්තේ, පන්සාලිස් හවුරුදු සිටැ අර්ථ ක්‍රියා කොට සතප්නට වැඩහොත් බුදුන් බඳු ධාතු ශරීරයෙන් පවිත්‍ර වන බැවින් එදාගැබ් අසදෘශ වූ බවයි (ධ. ප්‍ර. 407). බුදුන්ගේ පඤච අධිෂ්ඨාන අතුරින් පස්වැන්න මහාථූපයේ ධාතු නිධානය සමග සම්බන්ධ කර ඇති බව ද මේ සමග සිහි කළ යුත්තකි- මහාබෝධිවංසයේ දී, ‘…රතනවාලුකචෙතියො නාම අසදිසො මහාථූපො භවිසසතී ති වත්‍වා..’ යන තැන අසදිස මහාථූප යන්න භාවිත කර ඇත්තේ රතනවාලුක චෙතිය විග්‍රහ කරනු පිණිස ය (ම. බො. ව. 83). ක්‍රි. ව. 18 වන සියවසේ දී වැලිවිට සරණංකර හිමියන්ගේ ශිෂ්‍යපුත්‍රයකු වූ ගිනිගත්පිටියේ හෙරණතැන විසින් සම්පාදිත ‘එළු සොලෝ ශතකය’ හෙවත් තෙරුවන් මාලයෙහි ද මහාථූපය හඳුන්වනු පිණිස අසදිස් දා ගැප් යන නාමය උපයෝග කොට ගෙන තිබේ. ඒ පහත පරිදි ය.

කෙළකගණ රිදී හස්නේ සුගත් දා වැඩූ කල්

යමහල මුනිහොත් සේ හොත්තෙ නම් ලෝ තුමන් රූ

මැවෙමිනි මුනිඳාණන්ගේ ඉටන් වූ ලෙසින් ඊ

නමදිමි අසදිස් දා ගැප් මෙසේ දා නිදන් වූ (තෙ. මා. 87කව).

19 මංගල/ මහාමංගල මහාචෙති රසවාහිනී ක්‍රි. පූ. 02

මහාථූපය හැඳින්වීම පිණිස ‘මංගල මහාචෙති’ යනුවෙන් භාවිතව ඇති එක් මූලාශ්‍රයක් නම් රසවාහිනියයි- මෙය ද සාමාන්‍ය ජනයා අතර ප්‍රකට නාමයක් නොවේ. ‘මංගල’ යන්න මඟුල් හෙවත් ‘ශුභ’ හෙවත් ‘යහපත්’ අර්ථයෙහි ලා සැලකෙන්නකි. සේරුවිල ස්තූප කථාව අන්තර්ගත ධාතුවංසයෙහි ‘සේරු නම් විල් සමීපයෙහි ඉතා සිත්කලු වූ බුබ්බුලාකාර කෛලාසකූට ප්‍රතිභාග අතිධවල වූ දාගබක් පිහිටන්නේ ය’ යි බුදුන් වහන්සේ වදාළ බව සඳහන් වන අතර, මේ දාගැබ ධාතුවංසයේ දී නිතරම හඳුන්වා ඇත්තේ ‘මඞගල මහ දාගැබ’ යනුවෙනි (ධා. ව. 70, 73). නමුත් මහාථූපය පිණිස ‘මංගල’ යන්නෙහි බහුල භාවිතයක් හඳුනාගැනීම අපහසු ය. වේදේහ නම් හිමි නමක විසින් රචිත යැ යි පිළිගැනෙන සමන්තකූටවණණනාවෙහි බුදුන් වහන්සේගේ තුන්වන ලංකාගමනයට අදාළ විස්තර අතරෙහි ද ‘මහාමංගල චෙතිය’ යන භාවිතය දක්නා ලැබේ. ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමෙන් පසුව භාග්‍යවතුන් වහන්සේ දීඝවාපි චෛත්‍යස්ථානයට ද, එතැනින් අනුරාධපුරයට ද වැඩම කළහ. එහි දී මහාබෝධිය පිහිටුවන ස්ථානයේ වැඩ සිටීමෙන් අනතුරුව උන්වහන්සේ වැඩම කළාහු මහාථූපස්ථානයට ය. මේ අනුපිළිවෙල සමන්තපාසාදිකා ආදී අනෙකුත් මූලාශ්‍රයෙන් ද තහවුරු කෙරේ. සමන්තකූටවණණනාවෙහි දී බෝධිය පිහිටන ස්ථානය පිළිබඳ සඳහන් කිරීමෙන් අනතුරුව දක්වා ඇත්තේ මහාමංගල චෛත්‍යස්ථානය යි.

තතො’නුරාධං භගවා නභමහා – ගනත්‍වාන බෙධිටඨිතභූමියා ච

ඨානෙ මහාමංගල චෙතියසස – තථෙ’ව අකඛනනිහිතසස ඨානෙ, යනුවෙනි (ස. කූ. ව. 74:793 ගාථාව.

ස්ථාන අනුපිළිවෙල ද, රසවාහිනියෙහි පැණෙන ‘මංගල මහාචෙති’ යන පර්යාය නාමය ද එක්ව සැලකූ විට ඉන් මහාථූපය අදහස් කෙරෙන බව පිළිගැනීමට කිසිදු බාධාවක් නැත. මහාමංගල යන නමින් හඳුන්වන ලද වෙනත් ස්තූපයක් හා විහාරයක් පිළිබඳ ව ද මහාවංසයේ සඳහන්ව ඇත. කාවන්තිස්ස රජු විසින් මහාමංගල නම් ස්තූපය කරවීම ඒ අතුරින් පළමුවැන්න යි (ම. ව. xxiv:08). මෙම ස්තූපය වර්තමානයේ නීලගිරි නමින් ප්‍රකටව පවත්නා ස්තූපය යැ යි මතයක් පවතී.  ඇතැම් මහාවංස පිටපත්වල ‘මහාමඞගල චෙතියං’ යන්න වෙනුවට ‘මහානුගගල චෙතියං’ ලෙස සඳහන්ව ඇති බව බුද්ධදත්ත හිමියන් විසින් දක්වනු ලැබ තිබේ (බුද්ධදත්ත සංස්කරණයේ අදාළ ගාථාවට සපයා ඇති පාදක සටහන බලන්න).

දෙවැන්න වංකනාසිකතිස්ස රජු විසින් ගෝණ නදී තීරයෙහි මහාමංගල නම් විහාරය කරවනු ලැබීමයි (එම xxxv:113).

  1. රුවන් දාගැබ්

සිව්වන මිහිඳු රාජ්‍ය සමයට අයත් විය හැකි ජේතවන අංක 01 දරණ පුවරු ලිපියෙහි ඇතුළත් විහාර හා ස්මාරක නාමාවලිය අතරෙහි ‘රුවන් දාගබ් යැළින් ..කරා)’ යන සඳහනක් ද හමු වෙයි (Ranawella 2004:248).මිරිසවැටි, ඉසුරුමුණි හා සිහගිරි විහාර නාමවලට පසුව හා දළදා කරඬුව කරවීම පිළිබඳ සඳහනට පෙර මේ සඳහන දක්නා ලැබේ. ‘රුවන්’ යනු රතන යන්නට පර්යාය යෙදුමක් බැවින් මෙයින් අදහස් වනුයේ ද රතන දාගැබ හෙවත් රුවන්මැලි දාගැබ ම බව පෙනේ. ක්‍රි. ව. 10වන සියවස පමණ වන විට එය පිළිසකර කරවිය යුතු තත්ත්වයක පැවැති බැවින් සිව්වන මිහිඳු විසින් භෞතික සංරක්ෂණ මැදිහත්වීමක් සිදු කළා විය යුතු ය. ‘නැවත කරවීම’ අදහස් කෙරෙන ‘යැළින්…කරා’ යන තාක්ෂණික යෙදුම භාවිත කර ඇත්තේ එබැවිනි. රත්නාවලි යන්නෙන් ‘රතන දාගැබ’ යන්න සංක්ෂිප්තව සකසා ගත්තාක් මෙන් රුවන්මැලි යන්නෙන් ‘රුවන් දාගැබ’ යන්න සකසා ගත් අයුරු මේ මගින් පෙන්නුම් කෙරෙයි. පොළොන්නරු යුගයේ දී ද මේ නාමය ව්‍යවහාර විය. ධර්මප්‍රදීපිකාව ඊට එක් සාක්ෂ්‍යයකි. ධාතු අන්තර්ධානය විස්තර කරන ධර්මප්‍රදීපිකාව මෙසේ කියයි. ‘..එකල්හි මෙලක්දිවැ ධාතූහු රැස්වැ රුවන් දාගබට වඩිති. රුවන් දාගබින් නාදිව රාජායතන චෛත්‍යයට වඩිති…’(411).

  1. රුවැලි මහසෑ

සිව්වන හෝ පස්වන මිහිඳු රාජ්‍ය සමයට අයත් දඹේගොඩ ටැම් ලිපිය මහාවිහාරයේ හා පොළොන්නරුවෙහි පූජනීය ස්ථාන ආශ්‍රිත අය වැය පැවැත්විය යුතු ආකාරයට අදාළ ව්‍යවස්ථා ප්‍රකාශ කරන්නකි. මෙහි, මහාවිහාරයට අයත් ස්මාරක අතර ‘රුවැලි මහ සෑ’ යන යෙදුම ද දක්නා ලැබේ (ibid 2004:265). එය පැහැදිලිව ම ‘රුවන්වැලි මහසෑ’ යන්නෙන් නිපන්නකි. ඒ අනුව මෙම නාමය ද පොදුවේ ධාතුගර්භයේ වී යැ යි කියන රත්නමය තැන්පතුව අදහස් කරන බව පෙනේ.

22 රුවන් මහපා

සද්ධර්මාලංකාරයෙහි ලංකා ශාසන ප්‍රතිෂ්ඨාපන කථාවේ තෙවන ලංකාගමනයට අදාළව බුදුන් වහන්සේගේ පාපහස ලත් ස්ථාන නාමාවලිය තුළ ‘රුවන් මහපා’ නම් ස්ථානයක් ද දක්නා ලැබේ. ඒ අනුව බුදුන් වහන්සේ ‘අනුරාධපුර නුවර වැඩ…මහමෙවුනා උයන් මැද මහාබොධිස්ථානය, මුචලින්ද මාලක නම් ලද ලෝවාමහපායස්ථානය, පැනඹ මළුවය යි ව්‍යවහාර ලද රාශිමාලක නම් වූ ලහබත්ගෙය පිහිටි තැනය, උතුරු දෙස ඡන්තාඝර නම් වූ ගිනිහල් පොකුණ පිහිටි තැනය, පතන් භූමියෙහි රුවන් මහපාය පිහිටි තැනය, ථූපාරාම ස්ථානය මීන්තලෙහි මහසල සෑය පිහිටි තැනය, රුහුණු ජනපදයෙහි දිගානකය පිහිටි තැනය යන මේ නව මහා ස්ථානය පූර්ව සර්වඥවරයනුදු වැඩහුන් තැන් හෙයින් තමන්වහන්සේ ද ඒ තැන්හි ධ්‍යානයෙන් වැඩ හුන්හ…’(374). මේ විස්තරය දැක්වෙන වෙනත් මූලාශ්‍රයවල මහා ශුද්ධ ස්ථාන අතර අනිවාර්යෙන් දැකිය හැකි වූ එකක් නම් මහාථූපස්ථානය යි. ඉහත විස්තරයේ පතන් භූමියෙහි රුවන් මහපාය යනුවෙන් දක්වා ඇත්තේ මහාථූපස්ථානය යැ යි යමෙකුට හැඟී යා හැකි ය. ස්තූපයකට මහපාය යනුවෙන් භාවිත කිරීමේ යෝග්‍යතාව ගැටලු සහගත නමුත් මේ සන්දර්භයෙහි ලා වෙනත් විකල්පයක් අභිමුඛ නොවන බැවිනි. පඤ්ඤාලෝක හිමියෝ රුවන් මහපාය යන්නට දක්වා ඇති පාදක සටහනක තමන් භාවිත කළ ඛ පිටපතෙහි රුවන්වැලි මහසෑය යනුවෙන් දක්වා ඇති බව කියා තිබීම ද එවැනි අදහසකට අමතර සහායයක් සම්පාදනය කරවයි (එම:374, අංක 12 පාදක සටහන).

එහෙත් සද්ධර්මරත්නාකරයේ තෙවන ලංකාගමනට අදාළ විස්තර නිරූපණය අධ්‍යයනය කරන්නෙකුට ඉහත අනුමානය සාවද්‍ය බව පෙනී යනු ඇත. එහි රත්නමාලි චෛත්‍යස්ථානයත්, රුවන්පාය පිහිටන්නා වූ පතන්භූමිස්ථානයත් වෙන් වෙන්ව දක්වා ඇති බැවිනි (බලන්න, ස. ර. ක. 308). අභයගිරියේ පධානඝර පිළිබඳ කළ සඳහනක දී ටී. ජී. කුලතුංග අදහස් කර ඇත්තේ මේ පතන්භූමිය අභයගිරියේ රත්නප්‍රාසාදය සමීපයේ වූවක් බවයි (2014:218). කෙසේ වෙතත් මෙයින් කරුණු දෙකක් වටහා ගැනීමට පුලුවනි- පළමුවැන්න සද්ධර්මාලංකාර විස්තරයේ ස්ථාන නාමාවලියෙහි යම් ඌණතාවක් පවතින බවයි. දෙවැන්න සද්ධර්මාලංකාරයේ මහා ස්ථාන නවය අතරෙහි ලා සැලකෙන දකුණු මහසෑය පිහිටි ස්ථානය පසුකාලීනව එක්කර ගත්තක් විය හැකි බවයි. සද්ධර්මරත්නාකරයේ එන රත්නමාලි චෛත්‍යස්ථානය සද්ධර්මාලංකාරයෙන් ගිලිහී ගියේ දකුණු මහසෑය ආදේශ වීම නිසා විය හැකි ය.

  1. මහා චෛත්‍යය

මෙය මහාථූප, මහාචේති, මහතුඹ ආදී යෙදුම්වලට සමාන තවත් රූපයකි. අර්ථය ප්‍රකට ය.

24. අය්‍යකං

මහාථූපයේ ධාතුගර්භ රචනය විස්තර කෙරෙන කාම්බෝජ මහාවංසයේ හා වංසත්ථප්පකාසිනී පරිච්ඡේදයෙහි එහි භව්‍යතාවට නිදසුන් කථාවක් වශයෙන් භාතිකාභය සම්බන්ධ ප්‍රවෘත්තියක් ද ඇතුළත් කර ඇත. ඒ අනුව දිනක් අධිකරණ විනිශ්චයෙහි නිරත වූ භාතිකාභය රජු හිර බැස ගිය පසු ද සෑය වැඳීම සිහි නොකළේ ය. ආහාර අනුභවයට එළඹ බත්පිඬ අතට ගත් මොහොතේ ඒ බව මතකයට නැගී, ‘මිනිසුනි මම අද ආර්යයන් වහන්සේ වැන්දෙම් දැ’ යි විමසී ය. ‘නොවැන්දේ යැ’ යි අසා, ඒ මොහොතේම දකුණු දොර හරවා සෑය වැඳීමට ගොස්, නැගෙනහිර දොරටුවෙන් සෑ මලුවට ප්‍රවේශ විය (කා. ම. ව.xxx:331). මෙහි දී සෑය හඳුන්වනු පිණිස යොදා ඇත්තේ ‘අය්‍යක’ යන පාලි වචනය යි. එය ආර්යයන් මෙන් ම මුත්තණුවන් හැඳින්වීම පිණිස ද භාවිත වන්නකි. කාම්බෝජ මහාවංසය වඩාත් පැහැදිලිව, ‘පැරණි රජවරු බුදුරදුන්ව ආර්ය යනුවෙන් හැඳින්වූහ’ යි කියයි (එම xxx :331). ඉන් පැහැදිලි වන්නක් නම් මහාසෑය බුදුරදුන් සේ සලකන ලද බව ය. තද් සටහන පහත උපුටනු ලැබේ.

ගහෙත්‍වා තං භතතපිණඩං මනුසෙස පුචඡි තාවදෙ

වන්‍දිතො අමහි අජෙජ’ව, භණෙ’හං මම අය්‍යකං?

නාථං පොරාණඛතතියා ‘අය්‍යකො’ති වදනති තෙ

  1. රතන චෙති

මෙම නාමය රුවන් දාගැබ, රතන දාගැබ යන්නෙහි තවත් සමාන රූපයකි. ක්‍රි. ව. 15 වන සියවසේ දී රාමඤ්ඤ දේශයේ පාලනය ගෙන ගිය ධම්මචේතිය රජු විසින් හංසවතී නුවර අසල කල්‍යාණි සීමා භූමියේ කරවන ලද ශිලාලිපි සමූහයක් කල්‍යාණි ශිලාලිපි යනුවෙන් ප්‍රකටව පවතී. ඒවා ලංකාව හා රාමඤ්ඤ දේශය අතර ශාසනික සම්බන්ධතා හෙළි කරන මාහැඟි මූලාශ්‍රයක් ද වෙයි. එක් අවස්ථාවක ලංකාවේ ශුද්ධ ස්ථාන වන්දනය පිණිස පඬුරු ද සහිතව දූත පිරිස් පිටත් කර එවන ලදහ. ඔවුන්ගේ පූජාවට පාත්‍ර වූ ස්ථානයක් නම් රතන චේතිය යි. ‘රතන චෙතියාදි චෙතිය…පාදවලඤවර- බාවීස බොධිරුකඛපූජනත්‍ථාය ච නානාවණණනානි පඤචාසීති විතානානි ච’ යන පාඨයෙන් ඒ බව අනාවරණය වේ (බුද්ධදත්ත හිමි 2008:66).

  1. රතනුජජලථූපික

පාලි ථූපවංසයෙහි මහාථූපයට පර්යාය ලෙස ‘රතනුජජලථූපික’ යන නාමය භාවිත කර ඇත. ‘උජ්ජල’ යනු ‘බැබළෙන’ නැතහොත් ‘උදුළ’ යන අර්ථයි. ‘ථූපික’ යනු ‘කොත’ අර්ථවත් වචනයකි (සිරි සුමංගල හිමි 1965:295). ඒ අනුව රතනුජ්ජලථූපික යන්නෙන් ‘රුවනින් බැබළෙන කොතක් සහිත’ බව කියැවේ. සිංහල ථූපවංසයෙහි, ‘…නොයෙක් රත්නයන්ගෙන් උජ්වලිත වූ රත්නමාලි නම් චෛත්‍යය වර්ණනා කරමි…’ යැ යි දක්වා ඇතත් ඉන් රතනුජ්ජල යන යෙදුම මැනැවින් ප්‍රකාශ වන බවක් නොපෙනේ (බලන්න, සි. ථූ. ව. 01).  ‘රතනුජ්ජලථූප’ යැ යි සඳහන් වී නම් ඉන් රුවනින් බැබළෙන ධාතුගර්භය පදනම් කොට නාමකරණය ඇති වී යැ යි සිතීමට ඉඩ තිබිණි. එහෙත් මෙහි යෙදී ඇත්තේ ‘කොත’ අර්ථවත් ‘ථූපික’ යනු යි. එබැවින් රත්නමය හෝ රත්නමය සැරසිලි සහිත කොතක් මුල් කොට ගෙන මේ නාමය ප්‍රභවය වී යැ යි යෝජනා කිරීමට පුළුවනි.

  1. ථූපවර

‘ථූප’ හා ‘වර’ යන වචනද්වයෙහි එක්වීමෙන් නිපන් ‘ථූපවර’ යන නාමය දක්නට ලැබෙනුයේ ද පාලි ථූපවංසයේ ම ය. එයින් ‘උත්තම ස්තූපය’ යන අදහස විද්‍යමාන කරවනු ලැබේ.

  1. රුවන්මලි

අරීසෙන් අහුබුදු විසින් ‘ඉරහඳ නැගි රට’ නමින් 1994 වර්ෂයේ දී ප්‍රසිද්ධියට පත් කරන ලද කාව්‍ය ග්‍රන්ථයේ දී මහාථූපය සඳහා මේ නාමය යෝජනා කරනු දක්නා ලැබේ. තද් ග්‍රන්ථයට සපයා ඇති දීර්ඝ ප්‍රස්ථාවනාවේ දී අවධානයට ලක් කර ඇති කරුණු පහත පරිදි සංක්ෂිප්ත කිරීමට පුළුවනි.

  • ස්වර්ණමාලි, සුවණණමාලි ලෙස හඳුන්වා ඇති මේ මහසෑයේ මුල් නම රුවන්වැලි විය නොහැකි ය.
  • එය රුවන්වැලි වී නම් සංස්කෘතයට හෝ පාලියට පරිවර්තනය විය යුත්තේ ‘ස්වර්ණවාලුකා’ හෝ ‘සුවණණවාලුකා’ යනුවෙනි.
  • රුවන්මැලි වූයේ එහි මුල් නම ‘රුවන්මලී’ වූ හෙයිනි.
  • එම ස්ථානයේ ස්වර්ණමාලි දෙව් දූ නමින් වූ දෙවොලක් වූ බව අප අතර ඇති කවිවලින් පෙනේ.
  • රුවන්මලි නම් දෙව්දුවක් ඈත අතීතයේ සිට මෙරට වන්දනයට ලක්ව සිටියා ය.
  • රත්නවල්ලී, ස්වර්ණමාලි යනු ද ඇය ම යි.
  • රුවන්මලිය කතරගම කන්දේ රජුගේ බිසව වූ අතර වල්ලිඅම්මා ලෙස ඈට කථා ගොතන ලදි.

අහුබුදුට අනුව, මහාථූපයට රුවන්මැලි යන නාමය ලැබීමට මුල්වී ඇත්තේ කතරගම කන්දේ රජුගේ බිසවගේ නාමය යි. එහෙත් මේ ප්‍රවාදයේ අසංගත තැන් බහුල ය. වංසකතාවල මහාථූපය උදෙසා යෙදී ඇති හෙමවාලුක, රතනවාලුක යන නම් ඔහුගේ පර්යේෂණාක්ෂියට හසුව නැත. එමෙන් ම රතනමාලි යන්නට ධර්මප්‍රදීපිකාවේ සපයා ඇති නිශ්චිත අර්ථකථනය පිළිබඳ ඔහු කිසිත් සඳහන් නොකරයි. ස්වර්ණමාලි හා රතනවල්ලි පිළිබඳ කියැවෙන කාව්‍යවල නූතන බව අහුබුදුගේ සාකච්ඡාවෙන් හිතාමතා ම පාහේ බැහැර කර ඇත. කිසිදු පූර්ව මූලාශ්‍රයක එවැනි කතාවක් දක්නා නොලැබෙන්නේ මන් දැ යි කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට අමතකව ඇති සේ ය. කතරගම දෙවියන්ගේ බිරියකැ යි කියනු ලබන වල්ලිඅම්මාට රුවන්මලී යන නාමය ආදේශ කිරීමේ යුක්තියුක්තතාව පාඨකයා තෘප්තිමත් වන පරිදි මූලාශ්‍රය සාධක මගින් ඒත්තු ගැන්වීමට ඔහු අසමත්ව ඇත. කැළණි ස්තූපය සඳහා රුවන්මලී යන නාමය භාවිත කාල අවකාශයේ ව්‍යාප්තිය පෙන්වීමට ඔහුට හැකියාවක් ලැබී නැත. එපමණක් නොව, ලංකා ශිලාලේඛන සංග්‍රහයේ සය වන වෙළුමේ ප්‍රසිද්ධ කර ඇති කැළණි විහාර ලිපියෙහි දැක්වෙන්නේ ‘රුවන්වැලි’ යන නාමය මිස ‘රුවන්මලී’ යන රූපයක් නොවේ. කතරගම දෙවියන්ගේ මෙහෙසියක් අනුරාධපුරයේ පුද ලබමින් සිටියේ කෙසේ දැ යි යන පැනයට විසඳුමක් ද අහුබුදුගේ පැහැදිලි කිරීමෙන් යමෙකුට නොලැබෙයි. එසේ පුද ලබමින් සිටියේ නම් හා එවැනි දෙවොලක් මහාථූපයට යෝජිත බිමෙහි පිහිටියේ නම් ඒ බව මහාවිහාර ප්‍රතිග්‍රහණ කථාවේ සඳහන් නොවූයේ මන් දැ යි පැහැදිලි කළ යුතුව තිබිණි. වල්ලි අම්මාට සම්බන්ධ ප්‍රවාදවල තෙළඹු ගස සම්බන්ධව පවතින්නේ ද, එසේ නොවේ නම් ඊට හේතු කවරේ ද යන ගැටලුවලට පිළිතුරු ඔහු විසින් ඉදිරිපත් කළ යුතුව තිබිණි. කතරගම පුදබිමේ වල්ලි අම්මා දේවාලය පිටුපස ඇත්තේ ද ඇය නවාතැන් ගත්තේ යැ යි කියනු ලබන බෙනයක් සහිත සියඹලා ගසක් මිස රන් තෙළඹුවක් නොවේ (බලන්න, ධර්මදාස සහ තුන්දෙණිය 1994:399). ‘වල්ලි’ හා ‘රුවන්’ අතර සාම්‍යයක් නොමැති බැවින්, ‘රුවන්මලි’ යනුවෙන් හඳුන්වන ලද්දේ වල්ලිඅම්මා නොව තේවානි අම්මා යැ යි යමෙකු යෝජනා කළහොත් අහුබුදුවන්ගේ ප්‍රවාදය අනාථව යාම වැළැක්විය නොහැකි ය.

ප්‍රාග් මහින්ද අවධියේ දී අනුරාධපුරයේ පැවැති ඇතැම් ඇදහිලි හා විශ්වාස පිළිබඳ වක්‍ර තොරතුරු මහාවිහාර ප්‍රතිග්‍රහණ විස්තරයෙන් ද දත හැකි ය. පිචුල මාළකය පිහිටි භූමිය මීට එක් නිදසුනක් වෙයි. එහි පිචුල හෙවත් පුළිල ගසක් පිහිටා තිබීම නිසා ඒ නම ලද බව වංසත්ථප්පකාසිනිය කියයි (241). යම් හෙයකින් මහාථූප භූමියේ තෙළඹු ගසක් පිහිටා තිබිණි නම් හා එය එතරම් පූජනීයත්වයකින් සලකන ලද නම් ඒ ස්ථානය ‘පාටලී මාලක’ වැනි නමකින් දක්වන්නට ඉඩ තිබිණි. කකුධ නම් වැව පදනම් කොට අදාළ ස්ථානය විස්තර කර තිබීමෙන් ම රන් තෙළඹු ප්‍රවාදයේ පසුකාලීන බව තහවුරු වෙයි.

30 සුවණණමාලි/ සුවණණමාලිනි/ ස්වර්ණමාලි

ජිනකාලමාලි හා පුණ්‍යක්‍රියා සන්දේශය යන මූලාශ්‍රයවල සුවණණමාලි,  සුවණණමාලිනි, ස්වර්ණමාලි යන සමානරූපී නාම ව්‍යවහාර කර ඇති ආකාරය දක්නා ලැබේ. මේවා මීට ඉහත සාකච්ඡා කරන ලද ‘සොණණමාලි’ යන පාලි වචනය මුල් කරගත් ඒවා බව පෙනේ. ‘සොණ්ණ’ හා ‘සුවණණ’ රන් අර්ථවත් පාලි රූප වන අතර, එහි සංස්කෘත රූපය පෙනී සිටින්නේ ‘ස්වර්ණ’ යනුවෙනි. තෙරුවන්මාලයෙහි මහාථූපය වන්දනා කරන ගාථාවෙහි ස්තූප නාමය සුවණණමාලී ලෙස පෙනී සිටියි.

සයිංසු යසමිං සුගතසස ධාතු – නිමමාය රංසුජජල බුදධරූපං

සුවණණමාලී ති පතීත නාමං – වන්‍දාමහං ථූපවරං මහගඝං

වර්තමාන සමාජයේ පවා බෙහෙවින් ජනප්‍රියව ඇති ජනප්‍රවාදයකට අනුව ස්වර්ණමාලි යන නාමය මහාථූපයට ආදේශ වූයේ එනමින් යුතු වූ රුක් දෙවඟනක හේතුවෙනි. මහාථූපයට පිහිටුවනු ලබන භූමියේ රන්තෙළඹු ගසකට ඈ අධිගෘහිතව සිටියා ය. ථූපය කරවීම පිණිස තෙළඹුව ඉවත් කළ යුතු වුව ද ස්වර්ණමාලිය ඊට ඉඩ නුදුන් බැවින් මහත් ගැටලුවක් හටගති. අවසානයේ ඇගේ නාමය ස්තූපයට වැවහර කිරීමේ පොරොන්දුව මත ඈ සිය නවාතැන අතහැර දැමුවා ය. ඒ අනුව තෙළඹුව ඉවත් කර මහාථූපය කරවන ලදි. එය ‘ස්වර්ණමාලි’ නම් වී.

තෙළඹු ගස, Sterculia foetida යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ. අමරකෝෂයෙහි ඊට දී ඇති පර්යාය පද නම්, ගොලීඩො, ඣාටලො, ඝණටා, පාටලී, මොක්‍ෂමුෂකකෞ ආදිය යි (අ. කෝ. 60). තෙළඹු ගෙඩිය පැලී ගිය විට රූපීය වශයෙන් ස්ත්‍රී නිමිත්තට සමාන ය. නුවර කලාවියේ ස්ත්‍රී දූෂණ අදහස් කිරීම පිණිස ‘තෙළඹු තලනවා’ යන්න භාවිත කරනුයේ මේ සාම්‍යතාව පදනම් කර ගනිමින් විය යුතු ය. දේව වෘක්ෂයක් වශයෙන් තෙළඹු ගස භාවිත වීමේ තවත් අවස්ථාවක් මහනුවර අවධියට අදාළව අසන්නට ලැබේ. ඒ අනුව, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මගුල් ඇතාව එක්කස්ස මූලස්ථානය කරගෙන සිටි කීර්ති බණ්ඩාර දෙවියන් විසින් දණ ගැස්වූ අවස්ථාවේ සිය රන් හවඩිය අසල වූ තෙළඹු ගසක බැඳි රජු, එහි දෙවොලක් කරවා දෙන බවට ප්‍රතිඥා දුන්නේ ය (දනන්සූරිය 2009:343). ඒ වන විට තෙළඹු ගස කීර්ති බණ්ඩාර දෙවියන්ගේ විමානය ලෙස පිළිගැනීමක් පැවතුණි.

කුසුම් දිසානායක විසින් ද පෙන්වා දී ඇති පරිදි, එම්. යූ, ප්‍රඥාලෝක හිමි විසින් සම්පාදනය කරන ලදුව 1952 දී ප්‍රසිද්ධියට පත් කරන ලද ‘පුරාණ සිව්පද සංග්‍රහය’ නම් කෘතියෙහි ඇතුළත් ‘ස්වර්ණමාලියගේ ශෝකාලාපය’ නම් ජනකවි කෙරෙහි ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු විය යුතු ය. එහි පහත කව පැනෙයි.

නාලොව සිතාලා බැලුවත් පෙනෙන  ලියේ

බඹ ලොව සිතාලා බැලුවත් පෙනෙන ලියේ

සක්වල සිතාලා බැලුවත් පෙනෙන    ලියේ

රන් තෙළඹුවෙන් බැසපන් සුවර්ණමා  ලියේ

මෙම ජනකවියට පාදක වන්නේ ද රන් තෙළඹුවේ කථාව ම වුවත් ඊට සම්බන්ධ දේවතාවියගේ නම ‘ස්වර්ණමාලි’ ලෙස දක්වා තිබීම වටිනා කරුණකි. ඉන් පෙනෙනුයේ රන් තෙළඹුවේ කතාව එක් ආකෘතියකින් යුතු වන නමුත් දෙයාකාරයකින් සමාජ භාවිතාවේ පැවැති බව ය. රත්නවල්ලියට සම්බන්ධව හා ස්වර්ණමාලියට සම්බන්ධව යනුවෙනි.

අනුරාධපුර හා පොළොන්නරු යුගවල දී මහාථූප ධාතුගර්භයේ තැන්පතුව මුල් කර ගනිමින් හේමමාලි, සොණණමාලි, රතනමාලි, රතනාවලි ආදී නාම මහාථූපය උදෙසා ව්‍යවහාර කෙරිණි. මහනුවර යුගයේ අවසන් භාගය වන විට මේ මූලාශ්‍රය සාධක පිළිබඳ දැනුම බෙහෙවින් අල්ප වන්නට ඇත. විශේෂයෙන් ජනකතා කලාව ඉදිරියට ගෙන ගිය ගැමි ජනතාවට ප්‍රාථමික මූලාශ්‍රය පිළිබඳව හෝ, ඒ ඒ චවනවල ඓතිහාසික පරිණාමය පිළිබඳ හෝ ප්‍රමාණවත් දැනුමක් පැවතිණැ යි සිතීම ඉතා අසීරු ය. එබැවින් එකල සුලබව දක්නට ලැබුණ පරිදි විකල්ප කතා පුවත් නිර්මාණය කිරීමේ ප්‍රවණතාවේ බලපෑම රත්නමාලි හා ස්වර්ණමාලි යන නාම කෙරෙහි ද බලනොපැවැත් වී යැ යි සිතීමට හේතුවක් නැත. මුල් මූලාශ්‍රයවල සඳහන් නොවූ රන්තෙළඹුවක් හා මුල් ප්‍රවෘත්තිවලට ආගන්තුක රත්නවල්ලියක් හෝ ස්වර්ණවල්ලියක් මේ කථාදේහ තුළ පහළ වූයේ කෙසේ දැ යි දැන් පෙනී යා යුතු ය.

  1. හෙමවාලුක

මහාවංසයේ දැකගත හැකි නාමයක් වන හෙමවාලුක යන්න හේමවාලික යන යෙදුමට සමාන ය.

  1. රුවන්නැලි

1930 දශකයේ දී මහාථූපයේ පිළිසකර කටයුතු අවසන් අදියරට ළඟා වී පැවැති හෙයින් දෝ ඒ පිළිබඳ බොහෝ ශාස්ත්‍රීය සාකච්ඡා සිදු වෙමින් පැවැතියේ ය. මහාථූපයේ නාමකරණය සම්බන්ධයෙන් එවකට ඌරුගල පාසලේ සේවය කළ සුබසිංහ නම් මහතෙකු විසින් ඉදිරිපත් කරන ලද නව අදහසක් ද ඒ අතර වෙයි- ඔහු යෝජනා කළේ රුවන්වැලි යන නාමකරණය සාවද්‍ය බවත් එය රුවන්නැලි යනුවෙන් නිරවද්‍ය විය යුතු බවත් ය. මේ සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් 1933. 02. 17 දින රුවන්වැලි සෑ විහාරවාසී පසිඩිකුලමේ සුමන නම් හිමිනමක විසින් දිනමිණ පත්‍රයට යොමු කර තිබිණි. පාඨකයාගේ දැනුවත්භාවය පිණිස ඉන් අදාළ කොටස මෙහි උපුටා දක්වමු.

‘…මෙසේ සමස්ත ලෝකයාට නේත්‍රයක් වැනි කොට දුටුගැමුණු නරපතිතුමන් විසින් බුබ්බුලාකාරයෙන් කරවන ලද අසදෘශ රත්නමාලි චෛත්‍යරාජයාට අද දක්වා ම සෛංහලීය ජනතාව විසින් ‘රුවන්මැලි’, ‘රුවන්වැලි’ යනුවෙන් ව්‍යවහාර කරගෙන ආ නමුදු රුවන්වැලි යනු සදොස් ය, රුවන්නැලි යනු නිදොස් ය කියමින් ඌරුගල පාසලේ මහතෙකු විසින් නොබෝදා මෙම පතෙහි පළ කළ ලිපිය පිළිබඳ යම් යම් ඌනස්ථාන සම්පූර්ණ කරන බැව් සඳහන් කරමින් මහතුන් කිහිප දෙනෙකු ලියුම් පසිඳු කළ නමුදු තත්නාමයෙහි ඇති සාවද්‍යතාව නොපෙන්වා නිසොල්මන් වූහ….

මීළඟට රුවන්වැලි යනු ඡේක ප්‍රයෝගවල පැනේ දැ යි පිරික්සා බලමු. සද්ධර්මාලංකාරයෙහි ‘ශ්‍රී ලංකා`වීපයට ආභරණයක් වැනි වූ රුවන්වැලි මහසෑය බඳවා’ කියා ද, සද්ධර්මරත්නාකරයෙහි ‘මහමෙවුනා උයනෙහි පිහිටි රුවන්වැලි මහසෑයට මහත් පූජෝත්සවයක් කරනු පිණිස’ කියා ද, රාජරත්නාකරයෙහි ‘සියලු සතුන් පව් කළ නොදී පින් කරවා රුවන්වැලි දාගැබට වේදිකාවක් ද කරවා’ කියා ද සඳහන් වෙති. තවත් බොහෝ ඡෙකප්‍රයෝග දැක්විය හැකි නමුත් මේ ප්‍රමාණයයි සිතමු. මෙතරම් නොයෙක් ග්‍රන්ථයන්හි සඳහන් පූජ්‍ය පදයට සුබසිංහ මහතා පටහැනි වී කොටින්ම සදොස යයි කීම සාතිශය ඛේදජනකය.

තදනන්තරව ලියුම්කරු භවතාගේ සන්ධික්‍රමය පිළිබඳව විස්තරයක් විවෘත වේ. යම්බඳු වචන දෙකක් සන්ධි කල ඉක්බිති විරුද්ධාර්ථයක් ගම්‍යමාන වේ නම් එබඳු තැන්හි සන්ධි කිරීම පණ්ඩිතයන්ට අනභිමතය. රුවන්මැලි කියා තුබූ පදය රුවන්නැලි යි පූර්වරූප සන්ධි ක්‍රමයෙන් ගළපා ව්‍යවහාර කිරීම ද විරුද්ධාර්ථයක් හැඟෙන බැවින් අව්‍යක්ත ව්‍යවහාරයෙකි. රුවන් නැලියක් පමණ නැති විය, රුවන් නැලි බිඳුනේය යනාදී තන්හි රත්න සම්බන්ධී යම් ප්‍රමාණයක් හා රනින් කරණ ලද්දක් වාච්‍ය වන බැවින් පූර්වෝක්ත නාමය රත්නමාලී චෛත්‍යරාජයාට ව්‍යවහාර කිරීම නොමැනවි, මහතානෙනි! මඳක් කල්පනා කර බලන්න! ‘රුවන්මැලි’ යනු ‘රුවන්නැලි’ යි පෙරරූසඳ විදියෙන් ගළපා ව්‍යවහාර කිරීම සාවද්‍යාය- ඡෙකප්‍රයෝගයන්ට අනනුරූපය.

රුවන්මැලි යන නාමය පිළිබඳව ලියුම්කරු භවතාගේ විරුද්ධත්වයක් හෝ අයහපත් හැඟීමක් නොමැති බැවින් හා අප උගත් මහතා විසින් එහි ප්‍රභවය දක්වා තිබුන බැවින්  ඒ පිළිබඳ නොවෙහෙසී ‘රුවන්වැලි’ යන්නෙහි ප්‍රභවය පමණක් දක්වමු.

සනරාමර මොළිසිදෙවකතං – රතනාවලි ජොති හි ජොතිඨිතං

මුනිනොවර ධාතුජ දෙහවරං – පණමෙ රතනාවලි ථූපවරං

යනාදි තන්හි ආ රතනාවලි යන්නෙන් හෝ රත්නාවලි යන්නෙන් බිඳී අවුත් රුවන්වැලි යි ව්‍යවහාරප්‍රාප්තයි. මෙය සදොස් නාමයක් නොව පණ්ඩිතයන් විසින් පූජ්‍ය පදයෙකි. කරුණු මෙසේ හෙයින් සුබසිංහ මහතාගේ මතය හැර දමා ඡෙක ව්‍යවහාරයෙහි ප්‍රචලිතව පවත්නා ‘රුවන්මැලි’, ‘රුවන්වැලි’ යන නාමයන් ව්‍යවහාර කරන මෙන් හිතාධ්‍යාසයෙන් මතක් කරමු (දිනමිණ 1933.02.17).

  1. රතනවාලික

මෙම නාමය ද රුවන්වැලි යන්නෙහි පාලි ස්වරූපය පෙන්නුම් කරන්නකි.

  1. හෙමවාලික

මහාවංසයේ අවස්ථා කිහිපයක දී හෙමවාලික යනු යෙදී තිබේ. ‘රන්වැලි’ යන්නෙහි පාලි රූපය යි. ඉහත රතනවාලික යන්නට වඩා මාධ්‍යය නිශ්චය කර පැවසීමකි.

  1. කඤචනමාලිකා මහාථූප

පාලි ථූපවංසයේ නිරූපිත මෙය මහාථූපය හැඳින්වීමට භාවිත බෙහෙවින් දුලබ යෙදුමකි. ඇතැම් විට ථූපවංස ලේඛකයාගේ නව පරිකල්පනයකි. ‘…ඉධ පන කඤචනමාලිකා මහාථූපො අධිපෙපතො, සො කසස ධාතුයො පතිටඨාපෙත්‍වා කතොති චෙ?…’යනු ථූපවංස පාඨය යි (ථූ. ව. 78). කඤචන යනු ‘කසුන්’ හෙවත් ‘රන්’ අර්ථවත් පාලි වචනයකි. එබැවින් කඤචනමාලිකා යනු හේමමාලික හෝ සොණණමාලික යන නාමවලට සමාන නිරූපණයකි. ධාතුගර්භයෙහි වූ රන්මය තැන්පතු මුල්කොටගෙන මේ නාමකරණය ඇති වී යැ යි සිතීමට ඉඩ තිබේ. මහාබෝධිවංශ ග්‍රන්ථිපදයෙහි චෙතියගිරි විහාර පටිගගහණ කථා යටතේ  ‘කඤචන චෙතියංගණං’ යන යෙදුමකට ‘කඤචන චෛත්‍යය වුවමනා අංගනය’ යන අර්ථ සපයා තිබේ (157). සිංහල බෝධිවංසයේ ද, ‘…එකෙණෙහි ම කාංචන චෛත්‍යාංගණය පිරිවරා අටසැටක් ගල්ලෙන්වල කර්මාන්තයට පටන් ගන්වා….’ යනු දක්නා ලැබෙන බැවින් මේ දෙතැන්හි ම අදහස් කර ඇත්තේ සෑගිරියෙහි කණ්ඨක ථූපය බව නිසැක ය. මිහින්තලයෙන් ලද අභිලේඛනවල කණ්ඨක චේතිය හැඳින්වීමට ‘කටක චෙත’ යනු භාවිත ය. එබැවින් ඊට ‘කඤචන’ යන නාමය ආදේශ කර තිබීම පසුකාලීන විකෘතියක් වීමට පුළුවනි.

  1. උරුචෙති

භාතිකාභය රජු විසින් මහාථූපය උදෙසා කරවන ලද පූජා වාර්තා කර ඇති විස්තරය තුළ මහාථූපයට පර්යාය නාමයක් වශයෙන් ‘උරුචෙති’ යනු භාවිතව තිබේ. ඒ අනුව හෙතෙම, ‘…පාපිළිකඩ පටන් ධුරච්ඡත්‍රය තෙක් සතරඟුල් බොල් ගඳ කලලින් උරුචෙතිය ආලේප කරවා එහි මනා කොට නැටියෙන් මල් වද්දා සෑය මල්ගුහාවක් සේ කරවී…’ ය (ම. ව. xxxiv:41). කාම්බෝජ මහාවංසයේ ද ධුරච්ඡත්ත හා උරුචෙතියං යන වචන එකිනෙක සම්බන්ධකොට ‘ධුරච්ඡත්තොරුචෙතියං’ යනුවෙන් නිරූපණය කර ඇති අයුරු නිරික්ෂණය කිරීමට පුලුවනි (කා. ම. ව. xxxiv:45).

‘චෙති’ යන්නට විශේෂණ ලෙස එක් කොට ඇති ‘උරු’ යන පාලි වචනය ‘මහත්’, ‘විසාල’ වැනි අර්ථ සම්පාදනය කරවයි (බලන්න, සිරි සුමඞගල හිමි 1965:187). දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලදුව ථූපාරාම භූමියේ තැන්පත් කර තිබී, පළමුවන ජෙට්ඨතිස්ස රජු විසින් පාචීනතිස්ස පබ්බත විහාරයට ගෙන යන ලද සෙල් පිළිමය සම්බන්ධයෙන් ද ‘උරු’ යන විශේෂණය භාවිත කර ඇත (ම. ව. xxxvi:128). එම පාඨය විග්‍රහ කරන වංසත්ථප්පකාසිනිය, ‘…ථූපාරාමෙ උරුසිලාපටිමං චාරුදසසනනති, පුබෙබ ථූපාරාම විහාරෙ පතිටඨාපිතං මනොරමං දසසනෙය්‍යං මහාසිලාපටිමං…’ (V.K 494) යැ යි කියා ඇති බැවින් ‘උරු’ හා ‘මහා’ සමානාර්ථවාචීව භාවිත වන  පද බවට කිසිදු සැකයක් නැත- භාතිකාභය රජු ශ්‍රී මහා බෝධියට වාර්ෂිකව ස්නාන පූජා පැවැත්වීම වාර්තා කරන මහාවංසය මහාබෝධිය හැඳින්වීම පිණිස ‘උරුබොධියා’ යන නාමය භාවිත කර ඇති බව ද මෙහි දී සිහිපත් කටයුතු ය (බලන්න, ම. ව. xxxiv:58). මෙම පදනම මත සලකා බලන විට ‘උරුචෙති’ යන නාමය මීට පෙර සාකච්ඡා කරන ලද ‘මහචෙත’, ‘මහාථූප’, ‘මහතුබ’ යන නාමවලට සාම්‍ය විකල්ප භාවිතයකැ යි යෝජනා කිරීමට පුලුවනි. කෙසේ වෙතත් තද් නාමය මහාවංසයේ හෝ වෙනත් මූලාශ්‍රයක නැවත භාවිත වූ අවස්ථාවක් නිරීක්ෂණය කිරීමට නොහැකි වීම විශේෂත්වයකි-

  1. උතතම ථූප

මහාථූපයේ ධාතුගර්භයෙහි ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට අදාළ මහාවංස විස්තරයෙහි පහත ගාථාව ද දක්නා ලැබේ.

අරහනෙතා ඡනනවුති කොටියො ථූපමුතතමං

සමනතා පරිවාරෙත්‍වා අටඨංසු කත පඤජලි (xxxi:95).

‘සයානුකෙළක් රහතන් වහන්සේලා උතුම් ථූපය හාත්පසින් පිරිවරා කරන ලද ඇඳිලි ඇතිව වැඩ සිට ගත්හ’ යනු එහි අර්ථ යි. ඒ අනුව මහාසෑයෙහි පූජනීයත්වය කුලු ගන්වනු පිණිස ‘උත්තම’ යන විශේෂණය ‘ථූප’ යන්නට විශේෂණ කිරීමෙන් ‘උත්තම ථූප’ යන වචනය සැකසී තිබේ.එය පද පෙරළියට බඳුන් වීමෙන් ‘ථූපමුත්තම’ යනුවෙන් පෙනී සිටියි.

  1. සරීරධාතු චෙතිය

විභංග අට්ඨකථාව වන සම්මෝහවිනෝදනිය ක්‍රි. ව. 06 වන සියවසේ දී පමණ බුද්ධඝෝෂ මහතෙරුන් විසින් සම්පාදිත යැ යි විශ්වාස කෙරේ. මහාවංසයෙහි හෝ දීපවංසයෙහි හෝ වෙනත් ඓතිහාසික ග්‍රන්ථයක හෝ නොදක්නා ලැබෙන කථා ප්‍රවෘත්ති රැසක් අන්තර්ගතව තිබීම නිසා මෙහි ආගමික වටිනාකමට පරිබාහිර ඓතිහාසික වටිනාකමක් ද ගැබ්ව තිබෙනු දැකිය හැකි ය. ක්‍රි. පූ. පළමුවන සියවසේ දී පමණ ඇති වී යැ යි කියනු ලබන බැමිණිටියා සාය හා එහි කටුකත්වය නිරූපණය කෙරෙන තොරතුරු බොහොමයක් අපට හමුවනුයේ ද සම්මෝහවිනෝදනියෙනි. ඒ අතරින් එක් කථාවක් චූලසීව හා ඉසිදත්ත තෙරවරුන් සහ සම්බන්ධව පවතී. පහත උපුටන බැලුව මැනවි.

‘…එසමයෙහි මහවෙහෙර ශූන්‍ය විය- සෑමලුයෙහි එරඬු ගස් පැල වී ඇත. සෑය ගස්වලින් වට කරන ලද්දේ දියසෙවලින් පිරී ඇත. තෙරුන් ජීවමාන බුදුන් ඉදිරියෙහි වැඳ වැටෙන ආකාරයෙන් මෙන් මහාසෑය වැඳ පැසුළු රැයෙහි සෑමලුවට පිවිස බලන්නේ මෙබඳු වූ ලාභ කීර්තියෙන් අග පැමිණි ශරීරධාතු සෑය තබන තැන අනාථභාවයට පැමිණෙන්නේ යැ යි සිතමින් වැඩ හුන්නේ ය…’

මෙහි මහාථූපය අදහස් කරනු සඳහා ‘සරීරධාතු චෙති’ යන වදන භාවිත කර ඇති ආකාරය අවධානයට ලක් කළ යුත්තකි. ස්තූපවල ශරීර ධාතු තැන්පත් කිරීම අරුමයක් නොවේ. එහෙත් ‘චෙති’ යන වදන ස්තූප සඳහා පමණක් යෙදෙන්නක් නොවන බව අමතක නොකළමනා ය.  අවශ්‍ය නම් පූජනීය වෘක්ෂයකට වුව ද ‘චෙති’ යනුවෙන් ව්‍යවහාර කළ හැකි බැවිනි. ඒ අනුව මහාථූපය සඳහා ශරීරධාතු චේති යැ යි යොදා තිබීම යුක්ති යුක්ත ය- ථූපාරාමය ඉදි කරවීමට අදාළ මහාවංස විස්තරවල ද ධාතු සහිත ස්තූපය යන අරුත් දෙන ‘සධාතුකං තත්‍ථ ථූපං’ වැනි යෙදුම් භාවිතව ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට පුලුවනි (බලන්න, ම. ව. xix:76). ක්‍රි. පූ. යුගයේ දී ශුද්ධ අස්ථි කොටස් හැඳින්වීමට ‘ධාතු’ යන්නටත් වඩා ‘සරීර නිධානය’ යන ව්‍යවහාරය භාවිතව තිබිණැ යි යෝජනා කිරීමට ඉඩ තිබේ. ප්‍රිපාවා කරඬු ලිපියේ එන ‘සලිල නිධනෙ’ යන නිරූපණය ඊට එක් නිදසුනකි. කෙසේ වෙතත් මහාථුපය හඳුන්වනු පිණිස ‘සරීරධාතු චෙති’ යැ යි භාවිත වෙනත් අවස්ථාවක් අපට හමු වී නැත.

මෙම ලිපිය Journal of Sinhala Studies, BPU 2020 පලමුව පල විය. මෙම ලිපියේ කතෘගේ අවසර මත ‌අප වෙබ් අඩවියේ පල කරන ලදී. archaeology.lk කණ්ඩායම

උතුරු මැද පලාතේ ස්ථාන කිහිපයකින් අප්‍රකාශිත ශිලාලේඛන සොයා ගැනේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් උතුරු මැද පලාතේ සිදු කරන ලද කේෂත්‍ර නිරීක්ෂණකයදී අප්‍රකාශිත ශිලා ලිපි කිහිපයක් සොයා ගෙන ඇත.

සිතියම
සෙල්ලිපි තිබෙන ස්ථානය පෙන්වන සිතියම

එම ශිලා ලිපි පිළිබඳව අපව දැනුවත් කරන ලද්දේ ශාස්ත්‍රවේදී අලුත්දිවුල්වැව සෝමතිලක හිමි සහ සංවර්ධන නිලධාරී එච්.එම්.එස් හේමන්ත මහතා විසිනි. එම ඉල්ලීමට අනුව අප විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරය ලබා ගැනීමෙන් අනතුරුව, 2021-0-25 සහ 26 දෙදින තුළ එම ශිලා ලේඛන පිටපත් කරන ලදී. ඒ සඳහා විශ්‍රාමලත්, කැණීම් හා කෞතුකාගාර නිලධාරී ගාමිණි සමරනායක, බාහිර කථිකාචාර්ය ගම්මහේගේවැව අමිත හිමි, බාහිර කාථිකාචාර්ය නිලංග උදාර ජයරත්න, උපාධි අපේක්ෂක චමෝද් සඳරුවන්, ශාස්ත්‍රපති කුඩාබැඳිගම සුමන හිමි, ශාස්ත්‍රවේදී කිරිඉබ්බන්ආරේ සුගතවිමල හිමි, අලුත්දිවුල්වැව සෝමතිලක හිමි, වැලිගත්තේ මිත්‍රදේව හිමි, උදාර මධුසංඛ මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වූහ.

අපගේ අවධානයට යොමු වූ ශිලාලිපි අතුරින් ලිපි දෙකක් ගලෙන් බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලුත්දිවුල්වැව ග්‍රාමයට කි.මි 12ක් පමණ ඊශාන දෙසින් නාගස්වැව සහ  කටුවාවලගොඩ නමින් හැඳින්වෙන වනගත ප්‍රදේශවල පිහිටා තිබේ. වන අලි නිතර ගැවෙසෙන ආලංකුලම හා හබරණ රක්ෂිතයට මායිම්ව පිහිටි එම ස්ථානවලට ගමන් කිරීම අතිශයින්ම දුෂ්කරය. අලුත්දිවුල්වැව ග්‍රාමයේ සිට යතුරුපැදි වලින් සහ ට්‍රැක්ටරයක ආධාරයෙන් රක්ෂිතය හරහා වැටී ඇති දුෂ්කර මාර්ගය ඔස්සේ කි.මි 9ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව, තවත් කි.මි 3ක් පමණ පාගමනින් ගමන් කළ යුතුවේ.

සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර
සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර
සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර
සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර

ශිලා ලේඛන පිහිටි ස්ථාන වෙත යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සහ ප්‍රවාහන පහසුකම් ලබාදීමට ඉදිරිපත් වූයේ අලුත් දිවුල්වැව ග්‍රාමයේ පදිංචි සාලින්ද ලක්ෂාන්, අෂාන් මදුරංග, බන්දුල වීරසූරිය, ලසිත් විතාන, කසුන් මධුසංඛ, චානුක නවීන්, අකිල කේෂාන්, ගයාන් සපුමල් සහ වජිර රණසිංහ ඇතුළු කණ්ඩායම විසිනි.

සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර
සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර

වර්තමානයේ නාගස්වැව නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටි ලේඛනය ක්‍රි.ව 9-10 සියවසට අයත් ටැම්ලිපියකි. එම ලේඛනය ආලංකුලම රක්ෂිත සීමාවේ අභාවයට ගිය පුරාණ වැව් බැම්ම මත කැබැලි දෙකක් වශයෙන් දැකගත හැකිය. ලිපිය පිහිටි ස්ථානයට ආසන්නව මීටර් 3ක් පමණ ගැඹුරට වලක් කැණ තිබේ. වැව් බැම්ම මත සිටුවා තිබූ ශිලා ටැඹ ගලවා එම ස්ථානයෙහි වටිනා වස්තුව තැම්පත් කර තිබේය යන මිත්‍යා විශ්වාසයෙන් ලිපිය පිහිටුවා තිබු ස්ථානය හාරා විනාශ කරන්නට ඇති බව පෙනේ. තවද එම ලේඛනය ද කොටස් හතරකට කඩා වෙන් කර ඇත. ටැබෙහි ඉහළ සහ පහළ කොටස් මේ වන විට අස්ථානගතය. කොටස් දෙකකින් යුක්ත අක්ෂර සහිත මධ්‍ය සීමාවේ දිග සෙ.මි 110කි. එහි පළල සෙ.මි 16කි. රළු නිමාවක් සහිත මුහුණත් සතරකින් යුක්ත ටැබෙහි මුහුණත් තුනක අක්ෂර පේළි සටහන් කර ඇත. ලිපියෙහි එක් පේළියක් හැර සෙසු පේළි පහසුවෙන් කියවා ගැනීමේ හැකියාව ඇත.

වසර දහසක් පමණ පැරණි මෙම ලේඛනයෙහි රජයේ ප්‍රධාන තීරුබදු නිලධාරි රක්ෂා නැමැති නිලධරයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය සහිතව වාගලුව නැමැති ගම්මානයේ පිහිටි ඉඩම් දෙකක බද්ද වැව් බැම්ම ප්‍රතිසංස්කරණ කිරීම සඳහා යෙදවූ බව කියැවේ. ප්‍රතිසංස්කරණය කරන ලද වැව් බැම්ම මතින් ගවයන් ගෙනයාම තහනම් කරමින් නියෝගයක් පනවා ඇත. එම නියෝග කඩ කිරීම පෙරනාට්ටු (බහිරංග) නිලධාරීයාගේ අණ උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කර ඇත. ඒ අනුව මෙම ශිලා ලේඛනය කරුණු කිහිපයක් නිසා විශේෂ වේ. පුරාණ වැව් බැමි රක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු අනාවරණය වීම ඒ අතර ප්‍රධාන වේ. දැනට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති සෙල්ලිපි අතුරින් වැව් බැම්ම මතින් ගවයන් ගෙනයාම තහනම් කොට නීති පනවා ඇති එකම ශිලා ලේඛනය ද මෙය වේ.  තවද ක්‍රි.ව 9-10 සියවසට ගැනෙන මෙම ලිපියෙහි සඳහන් පෙරනාට්ටු හෙවත් බහිරංග නැමැති රාජ්‍ය නිලධරයා වාරි කර්මාන්තය හා සම්බන්ධ නිලධාරියෙකු ලෙස අනුමාන කළ හැකි වීමද විශේෂ ලක්ෂණයකි.

වැව් බැම්මෙහි ආරක්ෂාව සඳහා නීති පනවා තිබීමත්, එම ක්‍රියාවන් පාලනය කිරීම සඳහා රාජ්‍ය නිලධාරින් පත්කර තිබීමත්, කලාපීය වාරි කාර්මාන්තයේ සුවිශේෂි ක්‍රියාවලිය පිළිබඳ ඉඟියක් ලබාදෙයි. කලාපීය කෘෂි ආර්ථිකය පෝෂණය කිරිමට දායක වන කිවුලේකඩ, පහළ කිවුලේකඩ, ආලංකුලම, කටුවලගොඩ වැව් පද්ධතිය සහ ගල්ඔය යාන්ඔය, ආදී ජල මූලාශ්‍රය පෝෂණය කරන ප්‍රාථමික මුලාශ්‍රය වීම ඊට හේතුවයි. ටැම් ලිපිය පිහිටුවා ඇති වැව් බැම්ම බටහිර සහ නැගෙනහිර දිශාවන්ට දිවෙන කඳු ශිඛර දෙක යා කරමින් මීටර් 700ක් පමණ දුරට බැම්ම ඉදිකර ඇත. වැව් බැම්මෙහි රළපනාව සැකසීම සඳහා භාවිතා කරන ලද ශිලාමය අවශේෂ දක්නට ලැබෙන අතර වැව් බැම්මේහි ස්ථාන දෙකක කඩවරී දෙකක සාධකද හඳුනාගැනීමේ හැකියාව ඇත. මෙම වාරි නිර්මාණය ඉදිකිරීමෙහි විශේෂත්වය වන්නේ ස්භාවික භූ විෂමතාවහි පිහිටීම තේරුම් ගනිමින් නිර්මිත පරිසරය සැකසීමයි. එමඟින් බටහිර, නැනෙගහිර, සහ උතුර කඳු පද්ධතියෙහි ගලා බසින වර්ෂා ජලය අපතේ යාමකින් තොරව ගබඩා කර ගැනිමේ හැකියාව පවතී. කඳු ශිඛර දෙක අතර බැම්මක් ඉදිකොට ගබඩාකර ගන්නා වැසි ජලය පහළ නිම්නයේ නිර්මිත වාරි පද්ධතිය පෝෂණය කරමින් ගලා බසී. මෙම ක්‍රියාවලිය ස්භාවික භූ විෂමතාව හඳුනාගෙන වර්ෂා ජලය කළමනාකරණය කිරිමේ අපේක්ෂාවෙන් සැලසුම් කරන ලද්දකි.

නාගස්වැව ටැම් ලිපිය පිහිටි ස්ථානයට ගිණිකොන දෙසින් කි.මි 5ක් පමණ දුරින් හබරණ රක්ෂිතයෙහි කටුවාවලගොඩ ප්‍රදේශයේ නටබුන්ව පවතින බෞද්ධ උරුම පරිශ්‍රයක තවත් පුවරු ලිපියක් කෙරෙහි අපගේ අවධානය යොමුවූහ. දිග සෙ.මි 124කින් හා පළල සෙ.මි 40 යුක්ත එම පුවරුවෙහි ඝණකම සෙ.මි 40කි. මනා නිමාවකින් යුක්ත එම පුවරුවෙහි ඉහළ කොටස විමානාකාර සැරසිලි සහිතය. අක්ෂර ලක්ෂණ වලට අනුව එම ලේඛනය පොළොන්නරුව යුගයේ රචනා කරන ලද දමිළ පුවරු ලිපියකි. කලාන්තරයක් තිස්සේ පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් එම ලිපිය කියවා ගත නොහැකි ආකාරයට අක්ෂර ගෙවී ගොස් ඇත.

සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර
සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර
සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර
සෙල්ලිපි සොයා ගෙන යන ගමන අතර

මෙම පුවරු ලිපියට මීටර් 01ක් පමණ දුරින් ගල්කනු සහිත ඉදිකිරීමක් වෙයි. එම ඉදිකිරීමෙහි අභ්‍යයන්තරය ද මීටර් 1.5ක් පමණ ගැඹුරට හාර ඇත. ඊට අමතරව මනා නිමාවකින් යුක්ත ඔපමට්ටම් කරන ලද ශිලාමය කුළුණු සහිත ඉදිකිරීම් කිහිපයක්ම එම පරිශ්‍රයේ දක්නට ලැබේ. ඉදිකිරීම් මධ්‍යයේ පිහිටි පරිවාර ස්තූප කිහිපයක් සහිත ප්‍රධාන ස්තූපයක් ද ඒ අතර වේ. එම පූජනීය ඉදිකිරීම් ද මේ වන විට හාර විනාශ කර ඇත. තවද යකඩ නිෂ්සාරණය පිළිබඳ පැහැදිලි සාධකද ස්ථාන කිහිපයක දක්නට ලැබුණි. එම පරිශ්‍රය විධිමත් පරික්ෂාවකට ලක් කිරීම හරහා ද්‍රවිඩ ප්‍රජාව බෞද්ධ සංසකෘතිය හා සබැඳි ඓතිහාසික සබඳතා තහවුරු කර ගැනීමේ හැකියාව පවතින බව කිව යුතුය.

අනුරාධපුර දිස්ත්‍රිකයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 93 තුලාන ග්‍රාම නිලධාරී වසමෙහි නීරාවිය නයිපෙනගල නැමැති ස්ථානයෙන් වසර 1700ක් පමණ පැරණි තවත් ගිරිලිපියක් සොයා ගැනීමට හැකිවිය. ක්‍රි.ව 02 සහ 03  සියවසට අයත් පේළි හතරකින් යුක්ත එම ශිලා ලිපියෙහි රතිපොඩමන ගමෙහි වාසය කරන චූනක නම් අමාත්‍යවරයකු ස්තූපයකට ලබාදුන් කිසියම් දීමනාවක් පිලිබඳව කියැවේ. ලිපිය පිහිටුවා ඇති ස්ථානයට දකුණු දිශාවෙන් මීටර් 20ක් පමණ දුරින් පර්වතය මත ඉදිකරන ලද ස්තූපයක සාධක වේ. බොහෝ විට ලේඛනයෙහි කියැවෙන දීමනාව පර්වතය මත ඉදිකර තිබූ ස්තුපයට දෙන ලද්දක් විය හැකිය. කෙසේ නමුත් ලිපියෙහි අක්ෂරවල දක්නට ලැබෙන විෂමතාව නිසාත් ඇතැම් අක්ෂර ගෙවීයාමට ලක්ව ඇති නිසාත් ලබාදී ඇති දීමනාව පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමේ හැකියාව නැත.

සෙල්ලිපි පිටපත් කිරීම
සෙල්ලිපි පිටපත් කිරීම
සෙල්ලිපි පිටපත් කිරීම
සෙල්ලිපි පිටපත් කිරීම

ශිලා ලිපි පිළිබඳ දැනුවත් කිරීමෙන් හා මඟ පෙන්වීමෙන් සහාය දැක්වූ සංවර්ධන නිලධාරී එච්.එම්.එස් හේමන්ත මහතා සහ අලුත්දිවුල්වැව ග්‍රාමයේ පදිංචි සාලින්ද ලක්ෂාන්, අෂාන් මදුරංග, බංදුල වීරසූරිය, ලසිත විතාන, කසුන් මදුසංඛ, චානුක නවීන්, අකිල කේෂාන්, ගයාන් සපුමල් සහ වජිර රණසිංහ ඇතුළු කණ්ඩායමට ගෞරවයෙන් ස්තූතිය පුද කරමු. තවද මෙම කේෂ්ත්‍ර නිරීක්ෂණය සඳහා අවසරය සහ අනුමැතිය ලබාදුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහත්මා සහ අභිලේඛන හා තාක්ෂණ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා ගෞරවයෙන් සිහිපත් කරමු.

 

 

 

කන්දේ යකාටත් බයනැති කොරෝනා යකාගෙන් වන්නිලඇත්තන්ටද බේරුමක් නැත

වත්මන් වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රිය බිරිඳ වූ ඌරුවරිගේ හීන්මැණිකා මාතාව ද නොබෝදා කොරෝනා වසංගතයට ගොදුරුව මියගිය අවසානවන්ත පුවත අපට ආරංචි විය. තම උපන් ගමෙන් අඩියකදු හෝ පිටතටට නොගිය විදේශ ගුවන් බලපත්‍රයක් තියා උප්පැන්න සහතිකයකදු නැති ඌව බින්තැන්න ආදී වැදිරටවල වෙසෙන අතිශය කුලෑටි වැදිසමාජිකයෙකුට වුවද ඈත පිටරක සම්භවය වූ වසංගත රෝගයක් වැළඳීමට තරම් අප වසන ලෝකය කුඩා වී ඇත. එහෙයින් මේවන විට දඹාන ඇතුලු ඌව බිම්තැන්නෙත්, දානිගල, හේනබැද්ද, නිල්ගල රතුගල සහ සීතල වන්නියේත් දිවිගෙවන මොරානේ, උණාපනේ, නැබුදන්, අබල, තල මෙන්ම ඌරුවරිගේ වරිග පරම්පරාවල වන්නිල ඇත්තන්ට ද මේවන විට ගෝලියව පැතිරෙමින් පවතින කෝවිඩ් වසංගතයෙන් ගැලවීමට නොහැකි වී ඇත.

කිරිකොරහ නැටීම කොරෝනා
කිරිකොරහ නැටීම

කෝවිඩ් 19 වසංගතය වූ කලී මානවයා විසින් මෙතෙක් මුහුණ දුන් සියලුම අර්බුදධවලට වඩා සංකීර්ණ තත්ත්වයක් බව එක්සත්ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සඳහන් කරන ලද්දේය. එමඟින් ඉතා දරුණු සෞඛ්‍ය ගැටළු මෙන්ම සමාජ ආර්ථික ප්‍රතිවිපාක මානව ශිෂ්ටාචාරය වෙත ඇති කිරීමට මේවන විටත් සමත්වී ඇත. එමෙන්ම එහි බලපෑම අප සමාජය තුළ සිටින ඇතැම් ප්‍රජාවන් වෙත විසමානුපාතිකව එල්ලවෙමින් ඇත. විශේෂයෙන්ම ස්වදේශික ජනතාව වැනි ව්‍යුහමය වශයෙන් විෂමතාවන් සහිත, ඉතා විශාල වශයෙන් නොතකාහැරීමට ලක්ව ඇති සහ ප්‍රමාණවත් නොවන සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ පද්ධති නොමැති කොටස් වෙත මෙහි බලපෑම විශාල වශයෙන් ඇති වීම අසමාන්‍ය දෙයක් නොවේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ ප්‍රබලතාව නිසා බ්‍රසීලයේ ජීවත්වන ආදීවාසී ජනතාවද මේ වන විට සම්පූර්ණයෙන්ම වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා සිටින බව බීබීසී ප්‍රවෘත්ති ජාලය පසුගිය වර්ෂයේදී සඳහන් කර සිටියේය. එනම් කොරෝනා වෛරසය මඟින් ඇති කරන ස්වසනාබාධ ආදී රෝගී තත්ත්වයන්ට ලක්ව දැනටමත් ස්වදේශීකයන් විශාල ප්‍රමාණයක් මියයෑම හේතුවෙන් මෙම වෛරසය මඟින් එම ජනතාවගෙන් විශාල කොටසක් අසාධ්‍ය තත්ත්වයට පත්කළ හැකි බව එමඟින් දැක්විණි. පර්යේෂකයන් පිරිසක් විසින් අනතුරු අඟවා ඇත්තේ 1960 දශකයේ දී මෙම ආදීවාසී කොටස් අතර ව්‍යාප්ත වූ සරම්ප රෝගය තරම්ම බලපෑමක් මෙමඟින් ද ඇති කළ හැකි බවය. එකල සරම්ප රෝගය වැළඳුන පුද්ගලයින්ගෙන් සියයට නමයක පිරිසක් මිය ගියේය. මෙහි ඇති බරපතලම තත්ත්වය නම් මෙම වෛරසය වඩාත් අසාධ්‍ය වන්නේ වැඩිහිටි ප්‍රජාවට වීමයි. එහිදී ආදිවාසී කොටස්වල සිටින සාම්ප්‍රදායික දැනුමින් යුත් බොහෝ පිරිසක් එයට ගොදුරුව මිය යා හැකිය. එනම් එකී ආදි කොටස් සතුව ඇති ස්වදේශික ඥානය මතුපරම්පරා වෙත ලබාදීමට සිටින වැඩිහිටි පිරිසක් අහිමි වීම එම ස්වදේශික කොටස්වල මතු පැවැත්මට වෛරසය මඟින් ඇති කරන බලපෑමට අමතර බලපෑමකි.

මෙයින් ගැලවීමට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් ඇතැම් ආදී වාසී කොටස් කුඩා කණ්ඩායම්වලට කැඩී වනය තුළට වැදී දිවි ගෙවීමට කටයුතු කරමින් සිටී. පෙර වසංගත තත්ත්වයන්ගෙන් ගැලවීම සඳහාද ඔවුන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ එයයි. බොහෝ ස්වදේශික කොටස්වලට වෛරසයෙන් බේරීම සඳහා මේ වන විට ගෝලීය මට්ටමින් මන්ත්‍රයක් සේ ජපකරන හොඳින් අත්සෝදන්න යන වෛද්‍ය උපදෙස් පිළිපැදීම සඳහා පුරුද්දක් නොමැති අතර ඒ සදහා අවශ්‍ය සබන් සහ වෙනත් සනීපාර්ක්ෂක ද්‍රාවණ භාවිතය පිළිබඳ පුරුද්දක් සහ අවබෝධයක් ද ඔවුන් අතර නොමැත.

එකී කාරණා සැලකිල්ලටගෙන ඔවුන් පරිහරණය කරණ දෑ අන් අය සමඟ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ඔවුන් ව දැනුවත් කර ඇති අතර සහ දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුව අනුගමනය කරණ විදිපිළිවෙත් හා සමාන සාම්ප්‍රදායික පිළිවෙත් අනුගමනය කරමින් වෛරසය වැළඳුන පුද්ගලයින් සමඟ ආශ්‍රයෙන් වළකින ලෙසට ඔවුන්ව දැනුවත් කර ඇත. එහෙත් බොහෝ ස්වදේශික කොටසක් ජීවත් වෙන්නේ මනා සෞඛ්‍ය පහසුකම් සහිත ප්‍රවේශවල නොවීමද මෙම අවධානම තව තවත් වැඩි කරන තත්ත්වයක් වී ඇත.

බ්‍රසීල ආදිවාසි කන්ඩායමක්
බ්‍රසීල ආදිවාසි කන්ඩායමක්

මේ වන විට ගෝලීය තත්ත්වයද මෙය මය. එනම් ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ මෙන්ම ලංකාවේද ආදිවාසි ජානාවාස වල සීමාමායිම් පිටත පුද්ගලයින් සඳහා තර කරන ලද්දේ මෙම වසංගතයයෙන් බේරීම සඳහාය. එහෙත් සමස්තයක් වශයෙන් ගත් කළ ගෝලීය ආදීවාසී ප්‍රජාවෙන් මිලියනයකටක් වඩා පිරිසකට වෛරසය වැළඳිය හැකි බවද එයින් පුද්ගලයින් පනස්දෙදහසකට ආසන්න පිරිසක් මියයෑමට ඉඩ ඇති බව ද මේ වන විට ගණන් බලා ඇත. එය සංඛයාත්මකව වෛරසය වැළඳීමෙන් මිය යන දළ මරණ අනුපාතිකයට සාපේක්ෂව වැඩි අගයකි. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ එකී ස්වදේශීක කොටස් අතර පවතින අවම සෞඛය ආරක්ෂණ පුරුදු සහ පුද්ගල ප්‍රතිශක්තිකරණ ම්ටටම්වල හීනතාවයි.

මෙකී සියලුම තත්ත්වයන් සැලකිල්ලට ගත් ස්වදේශික ජනයාගේ ගැටළු පිළිබඳවූ එක්සත් ජාතීන්ගේ අන්තර්නියෝජිත-සහයෝගීතා කණ්ඩායම (IASG) කෝවිඩ් 19 වසංගත තත්වයෙන් ස්වදේශික ජනකණ්ඩායම් වෙත ඇති කරනු ලබන බලපෑම වළක්වා ගැනිම හරහා එකසත් ජාතීන්ගේ පද්ධතිය තුළ ඇති සියළුම නියෝජිත ආයතන විසින් කෝවිඩ් 19 තත්ත්වය සඳහා දක්වන ප්‍රතිචාර සහ ක්‍රියාකාරීත්වය තුළ ස්වදේශික ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය සහ 1989 දී ඇති කරගත් අංක 169 දරණ අන්තර්ජාතික ශ්‍රම සංවිධානය සහ ගෝත්‍රික ජනයා පිළිබඳ වූ ප්‍රකාශන සහය කොට ගනිමින් ස්වදේශික ජනයාගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවට අවධාරණය කරයි. ඔවුන් ඒ සඳහා විහේෂ මාර්ගෝපදේශන මාලාවක් මේවන විට නිකුත් කර ඇත.
එක්සත්ජාතීන්ගේ ආයතන පද්ධතිය මඟින් වසංගතය කෙරෙහි දක්වන ප්‍රතිචාර තුළ කිසිවෙකු මඟ නොහැරිමට කටයුතු කළ යුතු බව එමඟින් දක්වා ඇත. මෙවැනි සන්දර්භයක එකී ප්‍රතිචාර මඟින් ස්වදේශික ජනකණ්ඩායම් මුහුණ දෙන සුවිශේෂී අවධානම් සහ ආන්තරා තත්ත්වයන් ආවරණය කිරීමටත් ඒ සඳහා ස්වදේශික ජනයාගේ සක්‍රීය සහභාගීත්වය තහවුරු කරගැනීමටත්, ස්වදේශික ජනයා අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් වගබලා ගත යුතුබව අවධාරණය කරයි.

එමෙන්ම ස්වදේශික ජනකණ්ඩායම් කෝවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී සහභාගී කරගතයුතු අත්‍යාවශ්‍ය කොටකරුවන් ලෙස හඳුනාගැනීමේ වැදගත්කමද එමඟින් අනාවරණය කර ඇත. මක්නිසාද යත් තමන්ගේ සෞඛ්‍ය මට්ටම් සහ ආහාර සපයා ගැනීමේ ක්‍රම මෙන්ම ජෛවවිවිධත්වය ආරක්ෂා කරගැනීම සඳහා ස්වදේශික ආයතන සහ පුද්ගලයින් සතු දැනුම් පද්ධතිවල දායකත්වය විශාල වශයෙන් කොව්ඩි 19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම සහ එයින් සුරක්ෂිතවීම සඳහා දායතක්වයක් සපයනු ඇති නිසාය.

මෙවන් පරිසරයක මෙරට ස්වදේශික ජනයාගේ තත්ත්වය ඉතාම ඛේදජනක තත්ත්වයක පවතින බව අපට නිරීක්ෂණය කළ හැකි දෙයකි. හීන් මැණිකා මැතිණියගේ අභාවය එහි සංකේතීය නිරූපණය විය හැකිය. මීට දශක පනකට පමණ පෙර දඩයමක් කරගෙන, මිපැණි ටිකක් එකතු ගොට වල් අලයක් ගලවාගෙන දිවිගැහැට සරිකරගත් ඔවුනට මහජාතියේ පිනෙන් උරුම වුයේ තම මුල්බිම් පවා අතැර ගොස් අශ්‍රීක බිම පළාත්වල ආගන්තුක පිරිසක් ලෙස දිවිගෙවීමටය. පුරුදු වනසරණ පැතීම හිරේවිළංගුවේ වැටීමට කරුණු කාරණා සකස් කළ නිසා නුපුරුදු හේන්ගොවිතැනට හුරුවීමත් සිංහල් පවුල්වල වහල් සේවලේ නිරත වීමට සිදුවීම නිසා ඔවුන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරුණි.ඔවුන් ආර්ථිකමය වශයෙන් වඩාත් ද්‍රරිද්‍ර කොටසක් බවට පත්වූ අතර පෝෂණීය මට්ටම් පහළයාම නිසා පුද්ගලයින් අතර ප්‍රතිශක්කිකරණ මට්ටමද පහළ ගියේය.

මේ පැමිණ ඇත්තේ වෙනදා ලෙඩක් දුකක් වූ විගස ඌව බින්තැන්නේ වසන රේරන්ගේ ගල යකාට හෝ රෝග දුරුකරදෙන මාවරගල පනික්කියාට යන නෑ යකුන්ට යාදිනි කියා මතුනොව මාවරගල විසූ හන්තානේ මහවැදි උන්නැහෙටවත් වලිම්ගල ගල මත්තේ විසූ වලිම්ගල පනික්කියාටවත් මැදිහත් වී සුවකළ හැකි වසංගතයක් නොවවන බව නම් වරිග පර්ම්පරාවේ මහනිලකාර ඌරිවරිගෙ වන්නිල ඇත්තන් නොයෙක් වර මාධ්‍ය හමුවේ කළ කතා බහෙන් පැහැදිලි වෙයි. ඒ මතුනොව මතු යහපත සඳහා කරන කිරිකොරහ, කොළ මඩු යන කවර නැටුමක් නටාවත් එළිවිය නොහැකි මහ කන්දෙ යකාටත් වඩා මේ කොරෝනා යකා බලවත් බව දේශදේශාන්තරවය තරමක් කරක්ගසා ඇති ඔහු දැනටමත් දන්නවා ඇත.

ලොව අන් සෑම තැනකම වාගේ අප රටේ වෙසෙන ආදීවාසීන්ගේ සමාජ ආර්ථිකසහ සෞඛ්‍ය තත්ත්වයන්ද සතුටුදායක මට්ටමක නැත. ඔවුනගේ ළමා ප්‍රජාවේ මෙන්ම වැඩිහිටි ප්‍රජාව අතරද මේවන විට මන්දපෝෂණ මට්ටම ඉහළ අගයක පවතින බව මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික මානවවිද්‍යා අංශය මඟින් කළ පර්යේෂණයකින් හෙළිවිය. එනම් පෝෂණීය මට්ටම පහළ යාම නිසා විශාල පිරිසක් විටමින් ඌණතාවට ලක්වීම සහ එමඟින් රක්තහීනතාව ඇති වීම මෙන්ම, තවත් පිරිසක් අතර ඔස්ටියෝපොරෝසිස් රෝගය බහුල වශයෙන් වාර්තා වීම යනාදී කරුණු මඟින් පුද්ගල ප්‍රතිශක්ති හීන විශේෂ කණ්ඩායක් ලෙස ඔවුන්ව හඳුනා ගෙන ඇත.

එමෙන්ම වැදිගම්මාන ආශ්‍රිතව සිදුකළ අන් පර්යේෂණ වලින් ආදිවාසී ප්‍රජාව අතර බහුල වශයෙන් නිදන්ගත රෝග වාර්තාවන බව සොයාගෙන ඇත. එනම් දඹානේ වැදි ප්‍රජාවෙන් 42% ක ප්‍රතිශතයක්ද, හෙනානිගල වැදි ප්‍රජාවෙන් 33% ක ප්‍රතිශතයක් ද රතුගල සහ පොල්ලෙබැද්දේ පිළිවෙලින් 29% හා 28% ක ප්‍රතිශතයක් වශයෙන් මෙම රෝග එකී ප්‍රජාව තුළ ව්‍යාප්තව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයෙහි මහාචාර්ය ප්‍රේමකුමාරද සිල්වාගේ සඳහනකින් පැහැදිලි වෙයි. මෙම නිදන්ගත රෝග අතරින් වැදි ජනතාව අතර ඇදුම රෝගය බහුලව පවතින බවද එය ප්‍රතිශතයක් වශයෙන් 21% ක් බවද එම වාර්තා දක්වයි. මේ අනුව මෙම වසංගත තත්ත්වයෙන් විශාල වශයෙන් බලපෑමක් එල්ල කරන්නේ පෙනහළු පද්ධතියට නිසා එය වැළඳීමෙන් ආදීවාසීන් විශාල කොටසක් අසාද්‍ය තත්ත්වයට පත්විය හැකිය. තවද සුදුසු මට්ටමේ පානීය ජල හිඟතාව නිසා නිල්ගල රතුගල ආදී වැදිරටවල සිටින වන්නිලඇත්තන්ගෙන් වැඩි පිරිසකට වකුගඩු ආදී බෝනොවන රෝග බහුලවීම ද මෙම වසංගතය ව්‍යාප්තවීම අභිමුව හඳුනාගත යුතු ප්‍රබල සෞඛ්‍ය ගැටලුවකි. එමෙන්ම වැදිජනතාව අතර සැලකිය යුතු පිරිසක් අතර සෞඛ්‍යආරක්ෂක වැසිකිලි පහසුකම් පැවතියද අදටත් නිල්ගල, රතුගල,හෙනානිගල සහ පොල්ලෙබැද්ද යන වැදිරටවල වන්නිලඇත්තන් බොහෝමයකට සෞඛ්‍යආරක්ෂිත වැසිකිලි පහසුකම් නොමැති අතර වෙනත් සනීපාරක්ෂක පිළිවෙත් කිරීමේ පුරුද්දද අවමය. මෙවැනි තත්ත්වයක් තුළ මෙම වසංගතය වැදිරටවල පැතිරෙන්නට ගතහොත් එය අන් ප්‍රෙද්ශවල ව්‍යාප්ත වීමෙන් අතිකරන බලපෑම විශාල විය හැකිය. එහෙයින් වෛරසයේ ප්‍රබලතාව මෙන්ම ගෝලීය ආදිවාසී කොටස් වෙත එමඟින් ඇතිකර ඇති බලපෑම සහ අප රටේ සිටින ආදීවාසී කන්ඩායම්වල සෞඛය මට්ටම් යන කාරණා සැලකිල්ලට ගෙන රජය ප්‍රමුඛ නිසි බළධාරීන් ඒ පිළිබඳ වඩාත් අවධානය යොමුකළ යුතු තත්ත්වයකට අප එළඹ ඇත. ඒ සඳහා එක්සත්ජාතීන්ගේ ස්වදේශික ජනතාවගේ ගැටළු පිළිබඳවූ අන්තර්-නියෝජිත සහයෝගීතා කණ්ඩායම විසින් හඳුන්වා දුන් මාර්ගෝපදශනමාලාව මාර්ග සිතියමක් කරගත හැකිය.

එක්සත්ජාතීන්ගේ ස්වදේශික ජනතාවගේ ගැටළු පිළිබඳවූ අන්තර්-නියෝජිත සහයෝගීතා කණ්ඩායම මඟින් හඳුනාගත් ස්වදේශික ජනයා විසින් මුහුණදෙන සුවිශේෂී අවධානම් තත්ත්වයන්

මුල් ලිපියට (ඉංග්‍රීසි)

  • ස්වදේශිකජනයා සමාන්‍ය දිළිඳු පුරවැසියන්ටත් වඩා තුන්ගණයක් පමණ අන්ත දිළිඳුබවින් පීඩාවට පත් කොටසකි.එම නිසා ඔවුන්ට අවශ්‍ය ආහාර මිලදී ගැනීමට රැස්කර තබා ගැනීමට හෝ අවශ්‍ය ඖෂධ හෝ ප්‍රතිකාර සඳහා ගෙවීමට මෙන්ම රෝගී භාවයට පත්වූ විට ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සමාජ සුරක්ෂිතබවක් නොමැතිය.
  • එමෙන්ම ස්වදේශීක කණ්ඩායම්වලට ගුණාත්මක බවින් යුත් සහ සංස්කෘතික මට්ටම් අනුව යොමුවිමට ඇත්තේ ඉතා සීමිත සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණයකි.එවන් තත්ත්වයන් නිසා දැනටමත් ඔවුන් තුළ ඇති ඉහළ ළදරුමරණ අනුපාතය සහ අඩ ආයූ අපේක්ෂාව යන කාරණා සඳහා බලපාමින් ඇත.එහෙයින් එවන් පසුබිමක කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ ඔවුන්ට ලැබිය යුතු සෞඛ්‍ය ආරක්ෂාව අවම වන අතර රෝගය සොයා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කරවාගැනීමට සහ දැනටමත් රෝගී වූවන් රැක බලා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැත.
  • ස්වදේශික කණ්ඩායම් අතර දැනටමත් බෝනොවන රෝග සහ වසංගත රෝග වාර්තාවීමේ ඉහළ අනුපාතයක් ඇත. සැබවින්ම ඔවුන් සතු අඩු ප්‍රතිශක්තිකරණ මට්ටම් නිසා නව රෝගවලින් ආරක්ෂා වීමටද නොහැකිය.
  • සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබාගැනිමට ඇති අපහසුව, සනීපාරක්ෂක කටයුතු සහ ප්‍රමාණවත් පෝෂණයක් හිමි නොවීම මෙන්ම පොදු පහසුකම් සඳහා ප්‍රෙව්ශ වීමට ඇති අඩු ඉඩකඩ ස්වදේශික ජනයා අත්විඳින අපහසුතා ලෙස හඳුනාගත යුතුය.එහෙයින් වසංගතයෙන් බේරීම සඳහා සබන්වලින් අතසේදීම වැනි සෞඛාක්ෂිත ක්‍රමවලට හුරුවීම වැනි දේ ස්වදේශික ජනයාගෙන් බලාපොරොත්තුවිමට අපහසු කාරණාය. (මේ සඳහා ඔවුන් සතු අඩු සෞඛ්‍ය සාක්ෂරතාවද හේතුවෙයි.)
  • බොහෝරටවල සිටින මිලියන ගණනක් වූ ස්වදේශික ජනයා පිළිගැනීමට ලක්නොවීම මඟින් ඔවුන් ස්වදේශික ජනයා ලෙස හඳුනාගැනීමට, ඔවුන් පිළිබඳ නිවරැදි සංඛ්‍යා ලේඛන හිඟකම යන ගැටලුවලට මුහුණ දිමට සිදුවෙයි. මෙම නිසා මුලික පොදු සේවා පහසුකම් සහ ආර්ථික සහන පැකේජයන් (economic compensation packages ) වලට හිමිකම දැරීම මගහැරීයනු ඇත. ගුණාත්මක සහ ප්‍රාමාණික දත්තවල හිඟකම ස්වදේශික කණ්ඩායම් වලට කෝවිඩ් වසංගතයෙන් සිදුවන සැබෑ බලපෑමේ තරම නිවරැදිව ගණනය කරගැනිම වළක්වන අතර එමඟින් ඒ සඳහා නිවරැදි ක්‍රියාපිළිවෙතක් යෙදීමට ඇති ඉඩ ප්‍රස්ථාද අහුරා දමයි.
  • කොවිඩ් වසංගතය, එමඟින් නිවාරණය වීම සහ සෞඛ්‍ය පහසුකම්වලට යොමුවීමට රජය හෝ අදාළ අංශ මඟින් නිකුත් කරනු ලබන උපදේශ සහ තොරතුරු ස්වදේශික ජනයාට නිසි ලෙස සංනිවේදනය නොවීම. එමෙන්ම විශේෂ අවශ්‍යතාවලින් යුත් ස්වදේශික ජනයා මෙහිදී අමතර අභියෝගී තත්ත්වයන්ට මුහුණ දෙනු ඇත.

වසංගත පිළිබඳ පුරාවිද්‍යාව

ඉතිහාසය පුරා පැවති වසංගත පිලිබඳ පුරාවිදයා වාර්තා වලින් හෙලිකරණ කරුණු ඒවාට මානවයන් මුහුණ දුන් ආකාරය

කතුවරුන්
Charlotte Roberts (Professor of Archaeology, Durham University)
Gabriel D. Wrobel (Associate Professor of Anthropology, Michigan State University
Michael Westaway (Australian Research Council Future Fellow, Archaeology, School of Social Science, The University of Queensland)

අප විසින් වත්මන කෝවිඩ් 19 වසංගතය සමඟ නිරන්තරයෙන් සංසන්දනය කරුනු ලබන පෙර පැවති – ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (1918), කාල මෘත්‍යු බුයුබනික මහාමාර්යාව (Black Death bubonic plague (1342-1353), ජස්ටිනියානු මහාමාර්යාව(541-542) යන වසංගත  පුරාවිදයාඥයින් විසින් එතරම් අවධානයක් යොමු නොකරන මෑත කාලීනව ඇතිවූ වසංගත ලෙස දැනෙනු ඇත. මක්නිසාද යත් අප පුරුදුව සිටින්නේ සියවස් ගණනාවකට පෙර  හෝ ඇතැම් විට වසර දහස් ගණනකට පෙර සිටි මානවයින් පිළිබඳ තොරතුරු සෙවීමටය. එහෙත් මේවන විට පුරාණ මානව අස්ථි මත තිබී සොයාගත් සෘජු සාක්ෂි මඟින් අප වර්ගයාගේ ආරම්භයේ  සිටම වසංගත රෝග අප සමඟ  ජීවත්ව ඇති බවට සාධක  මේ වන විට සොයාගෙන ඇත.

ජීවපුරාවිද්‍යාඥයෝ මානව අස්ථි විශ්ලේශනය කොට අතීතයේදී වසංගත රෝග  ආරම්භ වූයේ  සහ ව්‍යාප්ත වූයේ කෙසේද යන්න පිළිඳ කරුණු අනාවරණය කර ගැනීමට උත්සහ කරති.

මුල් කාලීන මානව ප්‍රජාවන්ගේ සමාජීය චර්යාවේ ඇතැම් අංග මෙකී ලෙඩරෝග ව්‍යාප්තවීම සඳහා හේතුකාරක වූයේ කෙසේද? එකී මිනිසුන් රෝගීන් රැකබලා ගත්තේ කෙසේද? එපමණක් නොව පුද්ගලයින් සහ සමස්ත සමාජය විසින්ම තමනුත් අනෙකාත් ආරක්ෂා කරගැනිම සඳහා තම චර්යාවන් වෙනස් කර ගත්තේ කෙසේද ? යන්න ගැන අප විසින් මෙහිදී අවධානය යොමු කරනු ලබයි. මෙකී කරුනු කාරණාවලට පිළිතුරු දැනගැනීමෙන් පසුව කෝවිඩ්-19 වසංගතය මෙතරම්  දරුණු ගෝලීය ව්‍යසනයක් බවට පත්ව ඇත්තේ කිමද?  සහ ඊළඟ වසංගතයට පෙර අප විසින් කුමක් කළ යුතුද?  යන්න ගැන විද්‍යාඥයින්ට අවබෝධයක් ලබාගැනිමට උදව් උපකාරී වෙනු ඇත.

රවුම් හැඩයට ඇති තුවාල කැළැල් සිපිලිස් රෝගය වැළදුණු බවටවන සළකුණුය (ඡයාරූපය Charlotte Roberts, CC BY-ND)
රවුම් හැඩයට ඇති තුවාල කැළැල් සිපිලිස් රෝගය වැළදුණු බවටවන සළකුණුය (ඡයාරූපය Charlotte Roberts, CC BY-ND)

බොහෝ කලකට පෙර පැවති රෝග පිළිබඳ සාක්ෂි

ක්ෂයරෝගය වැළඳුණු බව කශේරුකාවේ දක්නට ඇති ලක්ෂණවලින් පැහැදිලිවෙයි (Charlotte Roberts, CC BY-ND )
ක්ෂයරෝගය වැළඳුණු බව කශේරුකාවේ දක්නට ඇති ලක්ෂණවලින් පැහැදිලිවෙයි (Charlotte Roberts, CC BY-ND )

පුරාජීවවිද්‍යාඥයින් මේ පිලිබඳ තොරතුරු දැන්ගත්නනේ කෙසේද? විශේෂයෙන්ම කිසිදු ලිඛිත සාක්ෂියක් නොතබා ගිය පුරාණ සංස්කෘති පිළිබඳ  තොරතුරු දැනගන්නේ කෙසේද? ලිඛිත සාක්ෂි සොයාගත හැකි සමාජවලද, දිළිඳු සහ වඩා ආන්තික මිනිස් කොඨාශ වල මෙකී තොරතුරු වාර්තාගත වී ඇති අවස්ථා දුලබය. බොහෝ පුරාවිද්‍යාත්මක තත්ත්වයන් තුළ, අපට සොයාගැනීමට හැකි ඉතිරි වී ඇති  යමක් වේ නම් ඒ මිය ගිය  අපගේ මුතුන් මිත්තන්ට අයත්  අස්ථි කොටස් පමණි.

සිපිලිස්, ක්ෂයරෝගය සහ ලාදුරු වැනි රෝග වැළඳුනු පසුව එනිසා  ඇතිවූ “ව්‍යාධිජනක“ ආසාදනයන්  අසථි මත යම් යම් ස්ථානවල හෝ   අස්ථිපඤ්ඤරයේ අස්ථි මත ව්‍යාප්ත වූ  බවට සලකුණු ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය.

එහෙත් රෝග නිසා අස්ථි මත සටහන්වන සලකුණු බොහෝමයක් සුවිශේසී ඒවා නොවුනද,   ඒවා පිළිබඳ අවධානයෙන් බලන ජීවපුරාවිද්‍යාඥයෙකුට එකී ලක්ෂණ දෙස බලමින් යම් පුද්ගයෙකු රෝගීවී සිටියාද නැද්ද යන්න දැනගත හැකිය, එහෙත් ඔහුට කිනම් රෝගයක් වැළදුනේද යන්න කීමට අපොහොසත් වනු ඇත. මහාමාරියාව සහ ඒච්.අයි.වී මෙන්ම කෝවිඩ් 19 වැනි වෛරස අසාදනයන් නිසා ඇතිවන  රෝග මඟින් අස්ථිපඤ්ඤරයට කිසිදු වෙනසක් සිදු කරන්නේ නැත. එමෙන්ම යම් පුද්ගයෙකු ක්ෂණිකව මරණයට පත්කරන රෝගී තත්වයන්ට වින්දිතයාගේ අස්ථි මත කිසිවක් ඉතිරිකර තබා යාමට කාලයක් ලැබෙන්නේ නැත.

නිශ්චිතව හඳුනාගත හැකි අස්ථිමය වෙනස්කම් වලට එහා ගිය සුවිශේෂී රෝගී තත්වයන් නිසා ඇති වූ වෙනස්කම් පිළිබඳ සාක්ෂි හෙලිදරව් කරගැනීමට පුරාජීවවිද්‍යාඥයින් නිරන්තරයෙන්, ජානවිද්‍යාඥයින්ගේ සහ පරපෝෂිතවේදීන්  (parasitologists) වැනි විශේෂඥයින්ගේද සහය ඇතිව විවිධ ක්‍රම ගණනාවක් භාවිතා කරනු ලබයි. උදාහරණයක් වශයෙන්  යම් මිනීවලක තැන්පත්කොට ඇති  මියගිය පුද්ගලයෙකුගේ  උකුල ප්‍රෙද්ශයෙන් ලබාගන්නා පස් නියඳියකින් ඔහුගේ බඩවැල් තුළ සිටි  පටිපණුවන් සහ වටපණුවන් වැනි පරපෝෂිතයින් (අන්තක පරපෝෂිතයින්- ntestinal parasites )පිළිබඳ සාධක අනාවරණය කරගත හැකිය. එමෙන්ම ජාන විශ්ලේශන මඟින් තවමත් පුරාණ අස්ථි සහ දත් මත ඇති අසාදක  රෝගකාරක විෂබීජවල (infectious pathogens ) DNA  සාක්ෂි හඳුනාගත හැකිය.

තවද ජීවපුරාවිද්‍යාඥයින්ට යෞවනයෙකුගේ දත්  සහ අස්ථි කෙසේ වර්ධනයවී ඇත්ද, හෝ වැඩිහිටියෙකුගේ අස්ථිපඤ්ඤරය ඔහුගේ  ජීව කාලය තුළ කොපමණ ප්‍රමාණයක්  වැහැරීමට ලක්ව ඇත්ද යන කාරණා මත පදනම්ව පුදගලයෙකු මරණයට පත්වන විට ඔහුගේ හෝ ඇයගේ වසය නීර්ණය කිරීමටද හැකිය. ඉන් පසුව වසංගත තත්ත්වලින් මිය ගිය ජනගහණයේ වයස් මට්ටම් සොයාගැනීමට  ජනවිකාශ විද්‍යාඥයින්ගෙන්  (demographers) උදව් උපකාර ගත හැකිය. බොහෝ වසංගත රෝග විසමානුපාතිකය බලපාන්නේ ,  වඩාත් තරුණ සහ බොහෝ වයෝවෘද්ධ වයස්වල පසවන දුර්වල ප්‍රතිශක්තිකරන මට්ටමක් ඇති පුද්ගලයන්ටය

උදාහරණයක් වශයෙන් Black Death හෙවත් කාල මෘත්‍යු රෝගය විශේෂ වයස් පරතරයක් නොමැතිව සියලුම වයස් මට්ටම්වල සිටි පුද්ලයින්ටම වැළදුනේය. මෙකී තත්ත්වයට වෙනස්ව 1918 ඇතිවූ ඉන්ෆ්ලුවන්සා වසංගතය වඩාත් අසාමානය බවත් ගත්තේය. එමඟින් වඩාත් බලපෑමක් ඇතිකළේ වඩාත් ප්‍රබල ප්‍රතිශක්ති මට්ටමක් තිබූ පුද්ගලයින්ටය. එනම් එමගින් වඩාත් සෞඛ්‍ය සම්පන්න තරුණ වැඩිහිටියන්ට ප්‍රබල බලපෑමක් ඇති කරනු ලැබීය.

මෙම බිම් විත්කන රේඩාර (Ground penetrating radar) සංඥා සිතියම මඟින් ඕස්ට්‍රේලියාවේ Cherbourg පිහිටා ඇති කුඩා ඇබොරිජිනල් ජනාවාසයෙහි ඇති සමූහ මිනීවල්වල් දර්ශනය කරයි. 1918-1919 අතර කාලයේ ව්‍යාප්තවූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය රෝගය එහි සිටි පන්සීයක් පමණ වූ වැසියන්ගෙන් හාරසිය අනූදෙනෙකුට වැළදුන් අතර ඔවුන් අතරින් අනූ දෙනෙකු මිය ගියේය. (ඡායාරූපය- Kelsey Lowe, CC BY-ND)
මෙම බිම් විත්කන රේඩාර (Ground penetrating radar) සංඥා සිතියම මඟින් ඕස්ට්‍රේලියාවේ Cherbourg පිහිටා ඇති කුඩා ඇබොරිජිනල් ජනාවාසයෙහි ඇති සමූහ මිනීවල්වල් දර්ශනය කරයි. 1918-1919 අතර කාලයේ ව්‍යාප්තවූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය රෝගය එහි සිටි පන්සීයක් පමණ වූ වැසියන්ගෙන් හාරසිය අනූදෙනෙකුට වැළදුන් අතර ඔවුන් අතරින් අනූ දෙනෙකු මිය ගියේය. (ඡායාරූපය- Kelsey Lowe, CC BY-ND)

අපට අතීතය තුළ පැවතියේ කිනම් වසංගත තත්ත්වයන්ද පිළිබඳ අප මුතුන් මිත්තන්ට අයත් අවශේෂ අධ්‍යයනය මඟින් පැහැදිලි කරගත හැකිය. එහෙත් මෙමඟින් රෝග ආසාදනයන් ඇතිවීම සහ පරිනාමය ගැන අපට වඩා පුළුල් අර්ථයෙන් පවසන්නේ කුමක්ද? පුරාවිද්‍යාත්මක හෝඩුවා මගින් පර්යේෂකයන්ට අතීතෙය් පැවති සමාජී සහ ආර්ථික සංවිධානය, පරිසරය සහ තාක්ෂණය යන තත්ත්වයන්ට අයත් අංග ප්‍රතිනිර්මාණය කළ හැකිය. එමෙන්ම මෙකී අවධානම් සාධකවල වෙනස්වීමේ බලපෑම මත කාලය හරහා, ලොව විවිධ කලාපවල සහ එකම සමාජයක ජීවත්වූ පුද්ගලයින් අතරේද, රෝගකාරාකදිය වෙනස්වීමට ලක්වූ ආකාරය දඅධ්‍යයනය කළ හැකිය.

බෝවෙන රෝග මුලින්ම ඇතිවූයේ  කෙසේද ?

මානව ජීවවිද්‍යාව සංස්කෘතිය කෙරෙහි සංකීර්ණ ආකාරයෙන් බලපායි. සංස්කෘතිය ද ජීවවිදයාව කෙරෙහි බලපායි, එහෙත්  ඉතා ක්ෂණිකව සිදුවන සංස්කෘතික වෙනස්කම් අපගේ ශරීරවලට දරා ගැනිමට නොහැකිය. උදාහරණයක් වශයෙන් විසිවන ශතවර්ෂයේ නොයෙක්වර සැකසූ ක්ෂණික කෑම වර්ගවල ආගමනයත් සමඟ  බෙහෝ දෙනෙකු විසින්  එතෙක් ගනු ලැබූ  වඩා සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල අහිමිවිය. මෙමඟින් මානව ශරීරය පරිනාමයට ලක්වූ අතර වෙනස් ආගන්තුක ලොවකට හුරුවීමට සිදුවීම නිසා මෙකී ආහාර රටාවේ වෙනස දියවැඩියාව, හෘදරෝග සහ තරබාරුකම වැනි රෝගකාරකාදියට මග කැපුවේය.

 එංගලන්තයේ රෝමානු වින්චෙස්ටර් ප්‍රදේශයේ වළදමා ඇති මිනිසෙකුට අයත් බිඳි සුවවූ පාදයේ පහළ අස්ථිය (Charlotte Roberts, CC BY-ND )
එංගලන්තයේ රෝමානු වින්චෙස්ටර් ප්‍රදේශයේ වළදමා ඇති මිනිසෙකුට අයත් බිඳි සුවවූ පාදයේ පහළ අස්ථිය (Charlotte Roberts, CC BY-ND )

පුරාවසංගතවේදමය (paloepidemiological) දෘෂ්ටිකෝණයකින් බලන විට අප වරගයාගේ අතීතයෙහි සිදුවූ සුවිශේසීම සිදුවීමක් වන්නේ ගොවිතැන සඳහා හුරුවීමයි. අදින් වසර දොළොස් දහසකට පෙර කාලයක මූලිකව ආරම්භ වූ කෘෂිකාර්මික කටයුතු  ලෝකයේ  බොහෝ තැන්වල ප්‍රභවය වී  ස්වාධීනව සංවර්ධනයට පත් විය.

මෙකී වෙනසට පෙර, මානවයින් ජීවත් වූයේ දඩයක්කාර ආහාර එකතුකරන්නන් ලෙසය. සුනඛයා ඔවුන්ට සිටි එකම  සමීපතම සත්වයා විය. අතීත මානවයින්  වඩාත් කාර්යක්‍රියාශ්‍රීලී කොට්ඨාශයක් වූ අතර ප්‍රෝටීන සහ තන්තුවලින් ඉහළ සහ පහළ කැලරි සහ මේද මට්ටමක් සහිත විවිධාංගීංකරණය වූ වූ සමබර ආහාර වේලක් ලබා ගත්තේය. මෙකී කුඩා කණ්ඩායම් වලට වනසතුන් දඩයම් කිරීමේදි සහ ඇතැම්විට එකිනෙකා සමග සටන් කිරීමේදී  නොයෙක් විෂබීජකාරක එනම් බැක්ටිරියා ආසාදන මඟින් ඇතවූ රෝග වැළඳුන අතර   තුවාල ආදියද  සිදුවිය. එමෙන්ම ඔවුන්ට දත් දැඩිව ගෙවීයාම,  සහ ඵලකයේ (plaque)සහ පරිදන්තකයේ ඇතිවන රෝග (periodontal disease.)දත් ආශ්‍රිතවද විවිධ රෝගී තත්ත්නයන්  තිබී ඇත.

කෙසේ හෝ එම දඩයක්කාරයන්ට එතරම් කණස්සල්ලට පත්වීමට සිදුනොවූ එක් දෙයක් නම් එක් පුද්ලගලයෙකුට වැළදෙමින් විශාල භූගොල්ිය කලාපයක ඉතා වේගයෙන් පැතිරී යන බොවේන රෝගවලින් ඔවුන් ආරක්ෂා වී සිටීමයි. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැනි විෂබීජකාරකයන්ට  එම ජනකණ්ඩායම් වැනි   කුඩා  සහ සමාජීය වශයෙන් හුදකලා වූ  එහෙත් බෙහෙවින් සංචාරක දිවිපෙවතකින් යුත් ජනකණ්ඩායම් අතර වඩාත් ඵලදායිව පැතිරීමට හෝ රඳාපැවතිමට එතරම් හැකියාවක් ලැබුනේ නැත.

කෘෂිකර්මාන්තයේ ආගමනයත් සමඟ අතීත මානවයෝ , ස්ථිර ජනාවාස පිහිටුවාගෙන විශාල කාණ්ඩ වශයෙන් එකිනෙකාට ආසන්නව පදිංචිවීමට  පටන් ගත්හ. මෙම පරිසරිය තුළ නව රෝගකාරකාදිය ආරම්භ විමට කදිම පරිසරයක් නිර්මාණය කළේය. මානවයින් කෘෂිකර්මාන්තය සඳහා සංක්‍රාන්තිය ලබා ගැනීම එකී සමාජවල වාර්තා වී ඇති ඉහළ ළදරු මරණ අනුපාතවලින් පැහැදිලිව හදුනාගත හැකිය. එනම් එකී තත්ත්වයන් මත ආසන්න වශයෙන් සියයට තිහක් (30% )හෝ  ඊට වැඩි ප්‍රමාණයක් ළමුන් පස් වියැති විමට පෙර මියගොස් ඇත.

වසර මිලියන ගණනක් පුරා විහිදෙන මානව පරිනාම ඉතිහාසයේ පළමු වරට විවිධ වර්ගවලට අයත් ක්ෂීරපායි සතුන් සහ කුරුල්ලන් මානවයාගේ අතිශය සමීප මිතුරන් බවට පත්විය. මානවයන් විසින් අලුතින් ගෘහාශ්‍රිතකරණය කළ සුතුන් සමඟ විසිමට ආරම්භ කරත්ම ඔවුන් zoonose යනුවෙන් හඳුන්වන සතුන්ගෙන් බෝවන  නව රෝග කාණ්ඩ වල ජීව චක්‍රයන්ට නිරාවරණය විය. පෙරදී සතුන් අතර පමණක් සීමා වි තිබුණු මෙකී රෝග ගෘහාශ්‍රතිකරණයත් සමඟ මිනිසුන්ට වැළඳිමට පටන් ගත්තේය.

මේ සියලු තත්වයන්ට අමතරව දුර්වල සෞඛ්‍ය පුරුදු සහ  පෝෂණයක් නොමැති ආහාර රටා මෙන්ම සංචරණයන් නිසා දුරඈතින්  සිටි ප්‍රජාවන් සමඟ සහ වෙළඳාම නිසා විශේෂයෙන්ම නාගරික ප්‍රජාව   සමඟ මුසුවීම නිසා පළමු වරට බොනොවන රෝග වසංගත ලෙස මිනිසුන් අතර පැතිරීමට පටන් ගත්තේය.

වසංගත ලෝකය තුළ පැතිරීම

මානවයින්ට වැළදුනු රෝගකාරකාදියට සම්බන්ධ ප්‍රධාන වසංගතමය සංකාන්ත්‍රීවල ප්‍රතිඵල වශයෙන්  මානව ඉතිහාසය තුළ ඇතිවූ ප්‍රධාන ඓතිහාසික සිදුවීමද හඳුනාගත හැකිය.

වසර දසදහසකටත් වඩා වැඩි කාලයක් යුරෝපයේ, මැදපෙරදිග කලාපයේ සහ ආසියාවේ සිටි මානව කණ්ඩායම්  තම පරිසරවල විසූ යම්යම් සතුන්ගෙන් බෝවිය හැකි රෝගකාරකාදිය සමඟ පරිනාමයට පත්විය. ගොව විවිධ කලාපවල ජීවත් වූ මිනිසුන් සමඟ සබඳතා දැක්වූ  සතුන්  වර්ග විවිධ විය. යම් සත්ව කාණ්ඩයන් සමඟ මානවයා දිගුකාලයක් ජිවත් විම නිසා මානවයා සහ සතුන් අතර සහ-පැවැත්මක් (symbiosis) වර්ධනය වූ අතරම එමගින් ප්‍රාදේශීයව හඳුනාගත් සත්ව රෝග වලට එරෙහි  ප්‍රතිශක්තිකරණයක්ද  මිනිසුන් තුළ වර්ධනය විය.

නූතන ඉතිහාසයේ  ආරම්භයත් සමග යුරෝපියානු අධිරාජ්‍යයට අයත් ප්‍රජාවන් ලෝකය පුරා සංචාරය කිරීම ආරම්භ කළ අතර, ඔවුන් සමඟ ඒ දක්වා “පැරනි ලොව“ පැවති රෝගකාරකාදියද රැඟෙන ගියේය. එකී රෝගී තත්ත්වයන් සමඟ පරිනාමයට පත් නොවූ ජනකණ්ඩායම්වලට එම රෝග වැළඳීමෙන් වඩා වඩාත් ඛේදජනක ප්‍රතිඵල අත්කර දුන්නේය. ඕස්ට්‍රේලියාවේ, පැසිෆික් සහ දකුණු ඇමරිකානු කලාපවල දිවිගෙවූ ස්වදේශික ජන කණ්ඩායාම් තුළ මෙම නව විෂබීජකාරකයන්ට මුහුණ දීම සඳහා ජීවවිද්‍යාත්මක හුරුවක් නොවීය. ප්‍රතිශක්තිකරණයක් නොවුයෙන් එකකින් පසුව තවෙකක් වශයෙන් පැමිණි වසංගතවලින් මෙකි කණ්ඩායම්  මහත් ව්‍යසනයකට පත්විය.  ඔවුන් අතර සිදුවූ මරණ අනුපාතය 60-90% අතර සංඛ්‍යාවක් වූ බව මේ වන විට ගණනය කර ඇත.

අතීත මිනිසුන්ට අයත් අස්ථිපඤ්ඤරවල, මමී තුළ සහ වෙනත් අවශේෂවල ඇති රෝග ලක්ෂණ පිළිබඳ සිදුකල අධ්‍යයන

පේරු හි වසර දෙදහස් හයසීයකට එපිට කාලයක ජීවත් වූ මිනිසෙකුට අයත් මෙම හිස් කබලෙහි සැත්කමක් සිදුකළ බවට සාධක දක්නට ලැබෙයි.
පේරු හි වසර දෙදහස් හයසීයකට එපිට කාලයක ජීවත් වූ මිනිසෙකුට අයත් මෙම හිස් කබලෙහි සැත්කමක් සිදුකළ බවට සාධක දක්නට ලැබෙයි.

වසංගත රෝග වල සම්භවය සහ පරිනාමය පිලිබඳ තොරතුරු ප්‍රතිනිර්මාණය කිරීමට තීරණාත්මක වී ඇත. එමෙන්ම මෙකී අධ්‍යන මඟින් අතීත මානව කණ්ඩායම් වසංගත තත්ත්වයන් තුළදී එකිනෙකා මත දැක්වූ දයාව කරුණාව සහ සැලකිල්ල ආදි සමාජවිද්‍යාත්මක කාරණාද, හිස්කබල ආශ්‍රිතව කළ ශෛල්‍යෙවෙද්‍ය කටයුතු, දත් වෙදකම,  අංගඡේදනය,ශරීරාබාධ ප්‍රකෘතිමත් කිරීම, ඖෂධීය ප්‍රතිකාර, සහ ශෛල්‍ය වෛදය උපකරණ ආදී වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගණනාවක්ද  හෙළිකර ගැනිමට හැකියාව ලැබී ඇත.

සොයාගත් අනෙක් සාක්ෂි මඟින් පෙන්වා දෙන්නේ  මානවයින් රෝගකාරකාදියෙන් සුවපත් වෙමින් අන්‍යයන් ද සුවකිරීම සඳහා තම උපරිමයෙන් කටයුතු කර ඇති බවය. ඇතැම් විට මේ සඳහා ලබාදිය හැකි වඩාත් ප්‍රසිද්ධ නිදර්ශනවලින් එකක් වන්නේ එංගලන්තයේ ඊම් (Eyam) ගමේ උදාහරණයයි. එනම් 1665 දී ලන්ඩනයේ ඇතිවූ මහාමාරියා වසංගත තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්විම සඳහා ඒ ගම් වැසියෝ ස්වයං පරිත්‍යාගී තීන්දුවක් ගනිමින් හුදකලාවීමට තීර්ණය කළහ.

බ්‍රසීලවේ ක්‍රි.ව 1800 අග භාගයේදී පමණ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයෙහි ක්ෂයරෝගීන් රැඳවිම සඳහා ඉදිකළ රෝහලක් (Wellcome Collection, CC BY )
බ්‍රසීලවේ ක්‍රි.ව 1800 අග භාගයේදී පමණ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයෙහි ක්ෂයරෝගීන් රැඳවිම සඳහා ඉදිකළ රෝහලක් (Wellcome Collection, CC BY )

වෙනත් යුගවලදී, ක්ෂය රෝගීන් එම රෝගීන් සඳහා ඉදිකළ ස්ථානවල රැඳවූ අතර (sanatoria), ලාදුරු රෝගීන් ඔවුන් සඳහා ඉදිකළ සුවිශේෂී ආරෝග්‍යශාලවල ද ඇතැම්විට දූපත් හෝ දුරපළාත්වලට යවා නිරෝගී මානව සමාජයෙන් බැහැරකොට තැබුවේය. මහාමාරියා වැනි වසංගත පැමිණි විට නාගරිකයන් තම ගේදොර දේපළ දමා පළා ගියහ.

අල ලෝකය නැවත වරක්  තවත් එවන් එක් වසංගතයකට මුහුණ දෙමින් සිටින මොහොතක, පුරාවිද්‍යා සහ ඓතිහාසික දත්ත වාර්තා මඟින් අපට කියා දෙන්නේ අප වර්ගයා එවන් බොවෙන රෝග සමඟ වසර දහස් ගණක් තිස්සේ ජිවත් වෙමින් සිටි බවය. විෂබීජකාරක මඟින් මානව ශිෂ්ටාචාර හැඩ ගන්වා ඇති අතරම එවැනි අර්බුධකාරී තත්වයන්ට මුහුණ දිම සඳහා මානාවයින් ද  පරිනාමීය ක්‍රියාවලිය තුළදී සැමවිටම  තම පැවත්ම නම්‍යශීලී කරගෙන ඇත.

පරිවර්තනය- දිනේෂ් දේවගේ

ශිෂ්ටාචාරය වෙනුවෙන් දිවි පිදූ විරුවා: කාලිද් අල් අසාද්

ඉස්ලාමයේ  මුල්කාලවකවානුව තුළ සිරියාව එහි විසූ අභීත විරුවන්ට ප්‍රසිද්ධ විය. ‘ෂාහිද්වරුන්‘ ලෙස හැඳින්වූ ඔවුහු කැළිෆට් නම් මහමද්තුමාගේ පරපුරෙන් පැවත ආ රාජ්‍ය රැකගැනීම සඳහා උතුරුදිගින් පැමිණි ක්‍රිස්තියානි බයිසන්තියන්වරන්ගේ භටහමුදා සමඟ යුදවැදුනහ. ඉස්ලාමය වෙනුවෙන් දිවිපිදූ ඔවුහු තම සහෘදයන් විසින් නිර්භීතයන් අතර වඩාත් නිර්භීතයන් සේ  සලකා වීරත්වයට නැඟුවේය. “ අප ගෙල හරහා ගලන  රුධිරයද. දුහුවිල්ල ද කෙතරම් සුගන්ධවත්ද“ යනුවෙන්  ඔවුහු තම වීරත්වය වාගාලංකාරයට නඟා ඇත.

Embed from Getty Images

2002 සැප්තැම්බර් මාසයේ දී කාලිද් අල් අසාද් පැල්මයිරාවේ දී

අදවන විටත් මැදපෙරදිග කාලපය තුළ ඉස්ලාම රාජ්‍ය ගොඩනැඟිම සඳහා මෙන්ම අල්ලා දෙවියන් වෙනුවෙන් කරනු ලබන ඝාතන මඟින් ස්වර්ගයේ අතිඋතුම්ම ස්ථානයකට ළඟාවීමේ අරමුණින් ආගමික අන්තවාදයෙන් උමුතුවට පත් වූ  මුස්ලිම් තරුණයෝ දහස් ගණනක් ශිෂ්ටත්වයට එරෙහි ම්ලේඡත්වයක් දිග හරිමින් සිටිති.

ඉස්ලාමික රාජ්‍ය එසේත් නැතිනම් අයිසිස් ( ISIS) තමන්ගේ ඉදිරිවාදීන්ට එරෙහිව තම ආධිපත්‍ය මනිනු ලබන එකම විදිය නම් එහි සටන්කරුවන් තම අරමුණ වෙනුවෙන් මරණයට පත්වීමට කෙතරම් සූදානමිකින් සිටිනවාද යන්නයි. ඉස්ලාමය පිළිබඳ තමන්ගේ ම්ලේච්ඡ නිර්වචනය බෙදාහදා නොගන්නා සියලු දෙනාම බියගුල්ලන් සේ සැලකිමට ඔවුන් නිරන්තරයෙන් හුරුවි සිටින්නේ එනිසාය. එහෙයින් කවර ගණයේ වුව මිලේඡ්චත්වයක් මුදා හැරීමට ඔවුනට හැකිය “ අප ජීවිතයට වඩා මරණයට ලොබ බඳිමු“ යනුවෙන් 1996 වසරේදී ඔසමා බින්ලාඩන් පවසා ඇත.

කාලිද් අල් අසාද් ඝාතනයට ලක් වීමට මොහොතකට පෙර
කාලිද් අල් අසාද් ඝාතනයට ලක් වීමට මොහොතකට පෙර

සිරියානු ඉතිහාසය යනු ෂාහිද්වරුන්ටත් වඩා උත්තුංග එකකි. එමෙන්ම එය වෙනු වෙන් දිවි කැපකලවුන් සියල්ලක්ම මිය ගියේ ආගමික උමතුවකින් පමණක්ම නොවේ. 2015 අගෝස්තු 18 වන  දින ඝාතනයට ලක් කරන ලද අප කතා නායකයා වන  කාලිද් අල් අසාද් නම් පුරාවිද්‍යාඥයා, ශ්‍රේෂ්ඨ මිනිසා, එලෙස දිවිදුන් ශ්‍රේෂඨයන් අතරින් එක් අයෙකි. ඝාතනයට ලක්වන විට අසූතුන් වියැතිව සිටි ඔහු, අයිසිස්( ISIS) සටන්කාමීන්ගෙන් ම්ලේච්ඡ භාවිතයෙන් බෙහෙවින් වෙනස්ව බටහිර ලෝකය තුළ සිටි වියත් ප්‍රජාවගේ ගෞරවාදාරයට ලක්වූ සිරියානු ඉතිහාසය හා පුරාවිද්‍යාව පිලිබඳ විෂය ප්‍රාමාණිකයෙකුව සිටියේය. කිසිලෙසකින්වත් ඝාතකයන්ගේ සිතැඟි තම අවසන්  හුස්ම තෙක් ඉටුකිරීමට නොපෙළඹුණු මෙම මිනිසා මියයන තුරා තම ආත්මාභිමානය රැකගනිමින් සටන්කාමීන්ට විරුද්ධව කටයුතු කළේය. අයිසිස් ම්ලේච්ඡයන් විසින් පැල්මයිරාවේ (Palmyra) මහජන චතුරස්‍රයකට රැගෙන ගොස් ඔහුගේ ගෙල සිඳ රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයට සැකසූ නටබුන් කනුවක දෙපාවලින් එල්ලා තැබු අතර ඔහුගේ සිඳින ලද හිස එම කණුවේ පාමුල තබන ලද්දේය. ඔහුව ඝාතනය කිරිමට හේතුවූ චෝදනා පත්‍රය බෝඩ් ලෑල්ලක ලියා එය ඔහුගේ ප්‍රාණය සිඳිනු කවන්දයෙහි එල්ලා තැබුවේය. “ මිත්‍යාදෘෂ්ටික සමුළුවලට සහභාගීවීම‘ සහ “ මූර්ති වන්දනයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කිරීම“ ඔහුට එල්ලකොට තිබූ චෝදනා විය.

2009 දී ගත් පැල්මයිරාවේ කොටසක් පෙන්වන ගුවන් ඡායාරුපය Christophe Charon/Sipa USA/AP Photo
2009 දී ගත් පැල්මයිරාවේ කොටසක් පෙන්වන ගුවන් ඡායාරුපය Christophe Charon/Sipa USA/AP Photo

කාලිද්ගේ දිවිය තම රටේ අතීතය අධ්‍යයනය සඳහාම කැපවුණ එකක් විය. එහි පැවති වැනසීගිය ශිෂ්ටාචාරවල පුරාණ භාෂා මෙන්ම එහි පුරාවිද්‍යාව පිළිබඳ හසල දැනුමක් පැවතීම කරණ කොටගෙන  ඔහුට අන්තර්ජාතික පිළිගැනීමක් හිමිව තිබිණි. අයිසිසිවරුන් විසින් “මිත්‍යාදෘෂ්ටික සමුළු“ ලෙස හැඳින්වූ අන්තර්ජාතික සමුළුවලදී ඔහුව නිබඳව ගෞරවයටත් ඇගයිමටත් පාත්‍රවිය. පැල්මයිරා නුවර සමාන්‍යවැසියන් මඟහරිමින් අයියිස් ත්‍රස්තයන්  ඔහුකරා පැමිණීමට හේතුවූයේද දසත විසුරුණු ඔහු සතු වූ එකී ප්‍රබුද්ධත්වයේ සුගන්ධයය. අභාවයට ගිය දෙව්මැදුරු  සහ පිළිම රැක බලා ගැනීම සහ සුරැකීම  යන කරුණු ත්‍රස්තයන්ගේ දෘෂ්ටිකෝණයට අනුව ඔහු පිළිම වන්දනා මාන කරන්නෙකුය යන  හංවඩුව ගැසීමට තරම් ප්‍රමාණවත්විය. එහෙයින් ප්‍රතිමාවන්දනයට හිමි ශරියා මරණ දණ්ඩනය ඔවුන් ඔහු කෙරෙහි පැණවීය. ශිෂ්ටාචාරය අධ්‍යනය කිරීමට සහ එය සුරකෂිත කිරීමට උත්සහ ගැනීම මරණ දණ්ඩනයට ලක්වීමට  තරම්  වූ වරදක් නම් අසාද් ඉතා ගෞරවයෙන් තම මරණය පිලිගන්නට ඇති බව අපට සිතිය හැකිය. ඔහු එතරම්ම තම රටට, තම සභ්‍යත්වයට ඇලුම් කළ අයෙකු විය. එතරම් වයොවෘද්ධ වියෙහි පසුවුවද අවසාන මොහොත දක්වා පැල්මයිරා හි කෞතුක වස්තු ආරක්ෂා කිරීමට ඔහු පෙළඹුනේ ඔහුගේ වෘත්තීය දිවිය මඟින් ඇතිකළ ඒ ශික්ෂණය සහ කුඩා කල සිට ඔහු සතුව පැවති දේශජත්වය නිසාය.

Embed from Getty Images

පැල්මයිරා යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයේ හිරු බැසීම 2011

සිරියාවේ සහ ඉරාකයේ පෞරාණික ස්ථාන සහ  පුරාවස්තු  ඊජිප්තුවේ මෙන් ක්ෂණිකව හඳුනාගැනීමට  නොහැකි වුවද එහි වැදගත්කමින් කිසිදු අඩුවක් නැත. එහෙයින් සිරියාවේ පැල්මයිරා නුවර පුරාවස්තු විනාශය ත්‍රස්තයන් විසින් ඊජිප්තුවේ ස්ෆිනික්ස් ප්‍රතිමාව පුපුරා දැමීම හෝ රජවරුන්ගේ නිම්නයේ සොහොන් ගැබ් බුල්ඩෝසර යොදා සමතලා කිරීමට මෙන්ම ටූටන්කාමන්ගේ සොහොන් ගැබට වැද කුලු පහරින් එකී සියලු අවශේෂ කඩා බිඳ දැමීමටකට සමාන වන්නේය. ඔබට එවන් විනාශයක් සිහිනෙකින් වත් සිතන්නට නොහැකි වනු ඇත.  සැබවින්ම සිරියාව තුළ සිදුවූයේ ද එවැන්නකි. කාලිද් අල් අසාද් නම් අසහාය මිනිසා තම දිවිදුන්නේ එවන් විනාශයක් වළකා ලීමටය. පැල්මයිරා නුවරට අයිසිස් ත්‍රස්තයන් කඩාවැදීමෙන් අනතුරුව  ඉතිහාසයට සහ පුරාවිද්‍යාවට මතු නොව මානව ශිෂ්ටාචාරයේ  වර්ධනය පිළිබඳ සංවේදී හඳින් යුතු සියලු දෙනා බියෙන් ත්‍රස්ත වූයේ අයිසිසි ත්‍රස්තයන් විසින් ඊළගට ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳය. සිරියාවෙන් පිටත සිටි බොහෝ දෙනා සිරියාවේ සභ්‍යත්වයේ උරුමය මතු නොව  සමස්ත ලෝකයේම සභ්‍යත්ව උරුමයන් නියෝජනය කළාවූ එකී නටබුන්වල ආරක්ෂාව වෙනුවෙන් යදිද්දී එක් මිනිසෙක් පමණක් හුදකලාව ඒ වෙනුවෙන් යුද වැදුනේය.

වසර දහස් ගණනක් අව්වැසි යුද කටයුතු වලින් සුරක්ෂිතව තිබුණු ප්‍රතිමා ත්‍රස්තයන් විසින්  එක් කුලුගෙඩි පහරින් ක්ෂණයකින් කඩා බිඳ දමන ලද්දේය. බයිබලය තුළ සඳහන් රජුන් විසින් තැනූ මාලිඟා පුපුරුවා හරිනු ලැබිණි, මහා ඇලක්සැන්ඩර්ගේ පර්සියානු අක්‍රමණය සිදුවන මොහොතවන විටත්  පැවති ඔහු පසුකර ගිය අති පෞරාණික නඟර බුල් ඩෝසර යොදා එක රැයින් පොලවට සමතලා කරන ලද්දේය. සැබිවින්ම අතීතයට ආදාරය කරන සියල්ලන්ටම මෙය එක රැයක දුටු නපුරු සිහිනයක්  බවට පත්විය.

කාලිද්  අල් අසාද් ට තම දිවිය රැකගැනීම සඳහා පැල්මයිරාවෙන් පැනයාමට අවස්ථාව පැවතියත් ඔහු එකී සියල්ලක්ම මඟ හැර තම දිවිපරදුවට තබා අවසන් හුස්ම හෙළනතුරු තම අතින් ගොඩගෙන, පිරිසිදුකොට අධ්‍යයනය කර මතු අනාගාතයටද ඒ ගැන ඉගෙන ගැනීම සඳහා සුරක්ෂිතව තැන්පත් කොට රැක බලාගත් පුරාවස්තු සහ නටබුන්  සමස්තය රැක ගැනීමට උත්සහකළේ සැබවින්ම  තම දිවිය තම වෘත්තිය වෙනුවෙන් පුදකළ අසහාය මිනිසෙකු වූ නිසාය. අප ආදරය කරන ආරක්ෂා කරන දරුවන් හා සම අතීත අරුමය තනි කොට දමා පලා යා හැක්කේ කාටද. සැබවින්ම ඔහු තම රටට, තම උරුමයට කෙතරම් සමීප වුයේද යත් ඔහු තම දියණියකට පැල්මයිරාවේ රජකළ අතීත රැජනකගේ නම වූ ශෙනෝභියා (Zenobia) යන්න තැබුවේය.

ගෝලීය ප්‍රජාවෙන් ඇතමෙකු සිරියාවේ අතීත සභ්‍යත්වය පිළිබඳ දැනගත්තේ අයියිස් ත්‍රස්ත කටයුතුවලින් විනාශ වූ පසුවය. එහෙත් පැල්මයිරාව යනු පෞරාණික, අතිශය අලංකාරවත් නගරයක් ලෙස පැවතියකි. ඇතැම්විට එහි ඇති සුන්දරත්වය සමාන කළ හැක්කේ   ගෝලීය පුරාවිද්‍යාත්මක ස්ථාන අතිරින් කාම්භෝජයෙහි වනය තුළ සැඟව ගිය අන්කෝර-වත් විහාර සංකිර්ණයට හෝ අන්දීස් කඳුවැටියේ මානව මතකය තුළ මිහිදන්ව  ගිය  මාචූ පිචූ  නම් ශ්‍රේෂ්ඨ ඉන්කා නඟරය වැනි අතීත ශ්‍රී විභූතියෙන් විරාජමාන ස්ථානවලට පමණි.

පැල්මයිරාවේ වාස්තුවිද්‍යාත්මක අභිමානය සඳහා පසුතලය සැකසුවේ  වනවදුලු, ගස්වැල් හෝ කදුවැටි නොව එහි දසත සිසාර ඇති කාන්තාරයයි. රෝමානු අධිරාජ්‍යෙය් සමෘද්ධිමත් සමයට අයත් අවශේෂවලට පසුබිම තනමින් සිරියානු වැලිකතර චමත්කාරජනක පරිදර්ශනයක්  තනයි. හැඩ්රියන්(ක්‍රි.ව 117-138) නම් රෝම අධිරාජ්‍යා තම බ්‍රිතාන්‍ය සංචාරයෙන්  සත්වසකට පසුව ක්‍රිස්තු වර්ෂයෙන් එකසිය විසිනම වැන්නේ සිරියාව ට පැමිණි අතර  ඔහු විසින් එහි විවිධ ස්මාර්ක තැනිම සඳහා නියෝග ලබා දුන්නේය. පහත් ක්ෂේම භූමියක් වැනි පැල්මයිරාවේ ආරක්ෂාව සඳහා කිසිදා ආරක්ෂක පවුරක් අවශ්‍ය නොවුයේ එය  සැතපුම් ගණනක් දුරට ව්‍යාප්තවන  අනන්ත මහාකතරකින් වටවී ඇති නිසාය. එහෙත් ඒකී භූගෝලීය බාධකවලින් පැල්මයිරාවේ වටිනාකම ලොවෙන් වසන් කිරීමට නොහැකිවිය. මධ්‍යදරණී කලාපය සහ සිරියාව අතර පිහිටි පැල්මයිරා නගරය අන්තර්ජාතික වෙළදාමෙන් සමෘද්ධියට පත්විය. එය අත්කරගෙන තිබූ අතීත සමෘද්ධිය එහි ඉදිවුණු ස්මාර්ක රාශියෙන් පැහැදිලි වෙයි. මෙකී සියල්ලක්ම රෝමානු වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට අනුරූපව ඉදිකරණ ලද ඒවාය.

එය කොරින්තියානු ගෘහ නිර්මාණ ලක්ෂණවලින් යුතු ඉතා මනරම් රංඟ ශාලාවක්, නානතටාක සංකිර්ණයක්,  කුළුණු තුන්සිය පණහකින් පමණ යුතු ස්ථම්භාවලියක්(colonnade) යන පෞරාණික වාස්තුවිද්‍යාත්මක අංග වලින් සුසැදිය. සැබවින්ම එකී ගෘහනිර්මාණ අංග අතීත රෝමානු අධිරාජ්‍ය බලපෑම්වලටද පූර්වයෙන් ඉදිවූ ඒවාය. වසර දහස් ගණනක් තිස්සේ මැදපෙරදිග විසූ ප්‍රජාව විසින් ඉස්ලාමිය ආගමික ව්‍යාප්තියට පෙර වන්දනයට ලක් කළ දෙවිදේවතාවුන් උදෙසා නගරය තුළ ගොඩනැඟූ බොහෝ දෙව්මැදුරු වෙන්ව පැවතිණි. සැබවින්ම පැල්මයිරා නගරය යනු රෝමානුවන්ට මෙන්ම සිරියානුවන්ට, ආරාබි ජාතිකයන්ට සහ පර්සියානුවන්ට එක ලෙස තම උපන්බිම හා සමාන හැඟීමක් ඇතිකරන බහු සංස්කෘතික ලක්ෂණවලින් යුතු නඟරයකි. හැඩ්රියන්ගේ සංචාරයෙන් වසර එකසිය පණහකට පමණ පසුව ඊජිප්තුව දක්වා විහිදී ගිය රෝමානු අධිරාජ්‍ය තුළ පැවති ප්‍රධාන අගනරයක් බවට එය වර්ධනය විය.

සමස්ත ඉතිහාසය පුරාම සිටි වඩාත් බලවත් කාන්තාවන්ගෙන් කෙනෙකු බවට පත්වූ  ශෙනෝබියා නම් රැජින එහි කෙටි කලක් රාජ්‍යත්වය දැරුවේය. එහෙත් අවසානවකට මෙන් ඇයගේ රාජ්‍ය අභිවර්ධන කටයුතු කෙරෙහි  උරණ වූ එවක සිටි රෝම අධිරාජයාගේ උදහසට ලක්විමත් සමඟ ඇයව අත්අඩංගුවට ගෙන යදමින් බැඳ රෝමයට රැඟෙන විත් සිර කළේය. අසාද් තම දියණියට තැබූවේ එකී විරවරයගේ නාමයයි.

Embed from Getty Images

පැල්මයිරාවේ තවත් පැතිකඩක්

පැල්මයිරාව ඉන්පසුව ප්‍රත්‍යන්ත රාජ්‍යක් වශයෙන් පිරීහීමට පත්විය. එහි ස්මාර්කයන් ක්‍රමයෙන් වැලි කඳු තුළ ගිලී ගියේය. ඉන් පසුව එහි වැදගත්කම යලි ලොවට හෙලි වන්නේ ක්‍රි.ව 1751 දී යුරෝපීය පුරාවස්තු එකතුකරන්නන් එහි පැමිණීමත් සමඟය. එහි ඒ වන විටත් සුරක්ෂිතව පැවති ස්මාර්ක දැකීමෙන් ඔවුන් බෙහෙවින්  වික්ෂිප්තියට පත්විය. එතැන් සිට එය ගෝලීය ශිෂ්ටාචාරයේ වටිනා සන්දිස්ථානයක් ලෙස පුරාවිද්‍යාඥයන්ගේ නිබඳ ඇගයිමට සහ සොයා බැලිමට ලක්විය. එය පුරාවිද්‍යාඥයින් අතරේ  ප්‍රසිද්දියට පත්ව තිබුණේ“ මහ කතරේ වැනීසිය“ යන අපර නාමයෙනි. කලිද් අල් අසාද් විසින් දිවි පිදුවේ මෙවන් උරුමයක් රැක ගැනිම වෙනුවෙනි. පැල්මයිරාවේ ඉපිද එහිම හැදි වැඩුණු ඔහු පැල්මයිරාවේ  පුරාවස්තු භාර ප්‍රධානියා වශයෙන් වසර හතලික පමණ කලායක් සේවය කළ අතර කැණිම් කටයුතු සිදු කරමින් සහ ඒවා ප්‍රදර්ශනයට පත් කරමින් මෙන්ම ඒ පිළිබඳ අඟනා ග්‍රන්ථ ද රචනා කළේය.

ඔහුගේ නිජබිම පිළිබඳ පැවති අසිමිත බැඳීම ඔහුගේ දරු දැරියන්ටද අනුප්‍රාණයක්  වූ අතර ඔහු අනුගමනය කරමින් ඔහුගේ දරුවන් හතරදෙනෙක් පැල්මයිරා කෞතුකාගාරයේ සේවයට බැඳුනේය. කාලිද් අල් අසාද් ඝාතනයෙන් සතියකට පමණ පසු ඔහුගේ වැඩිමහල්  පුත්‍රයාද අයිසිස් ග්‍රහණයට පත්විය. අයිසිස් ත්‍රස්තයන් පැල්මයිරාව කරා පැමිනෙමින් තිබෙන බව කනවැකෙත්ම   අසාද්  පැල්මයිරාවේ තිබූ අගනා පුරාවස්තු  ගණනාවක් සුරක්ෂිත ස්ථානයක් කරා රැඟෙන යාමට කටයුතු සංවිධානය කරමින් සිටියේය.

පුරාවස්තු රැගත් ලොරි රථ පැල්මයිරාවේ  කෞතුකාගාරයෙන් නික්ම යද්දී ඔහුට එකී රථයකට නැඟි පලා යාමට අවස්ථාව තිබියදී, ඉතිරි වී ඇති අනෙක් අවශේෂ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඔහු එහි නතර විය. සැබවින්ම ඔහුට ඔහුගේ අවසානය ගැන අදහසක් තිබුණේය. තම ජීවිතයේ ඉතිරි කාලය බියෙගුල්ලෙකු හෝ මාතෘභූමියට ද්‍රෝහිවූවෙකු ලෙස වරද සහගත හැඟිමෙන්  දිවිගෙවනවාට වඩා අවසන් තත්ත්පරයද එය වෙනුවෙන්ම ගතකිරිමට අදිටන් කර ගත්තේය. එහෙයින් සෘජු කයින් සහ විවරගත් ඇසින් ඔහු ඝාතකයා පෙරමඟ එමින් සිටියදීත් තම කාර්යෙහි යුහුසුළු විය.

Embed from Getty Images
විනාශ කිරීමෙන් පසු පැල්මයිරා යුනෙස්කෝ ලෝක උරුම ස්ථානය

වාර්තාවී ඇතිපරිදි ඔහු ඝාතනය කරනු ලැබුවේ සැඟවූ  පුරාවස්තු පෙන්විමට ප්‍රතික්ෂේප කිරීම නිසාය. මෙහි සත්‍යාසත්‍යතාව කුමක් වුවද, එක් දෙයක් පැහැදිලිය එනම් අසිසිස් ත්‍රස්තයන් විසින් විනාශකර දැමීමට නිබඳව දිවුරා සිටින්නේ කාලීද් අල් අසාද් දැරූ සාර්වභෞමික මානුෂිය වටිනාකම් මෙන්ම තම රටේ උරුමය සුරැකීමට කැපවීම වැනි අභිලාෂයන්ය. එය හැත්තෑව දශයේ කාම්භෝජයේ කේමරූජ්  පාලකයන්  කලාක් මෙන්ම  අතීතයට අගයක් එකතු කළ සියලුම වටිනාකම් පිළිබඳ මතකයන් අතුගා දැමිමට   අරමුණු කරගත් උත්සහයකි. එහෙත් පුර්ව  ඉස්ලාමික යුගයට අයත් පුරාවස්තු විනාශ කර දැමිම පමණක්  ඔවුනට ප්‍රමාණවත් නොවෙනු ඇත. එය පූරණයට පත් වන්නේ අතීත ඉතිහාසය පිළිබඳ ගෝලීය අවබෝධය පුළුල් කරන ලද අසාද් වැන්නන්ද ඝාතනය කිරිමෙන් අනතුරුවය. සැබවින්ම ඔහුගේ ඝාතනය එවැනි පරමාදර්ශයන් මරා දැමීමට ගත් තැතක් ලෙසද හඳුන්වා දිය හැකිය .

අල් අසාද් හැරෙන්නට අතීත පැල්මයිරාව තුළ නියෝජනය වුයේ කුමක්ද යන්න මැනවින් දත් අයෙකු නොසිටියේය. බහුසංස්කෘතීන්ගේ සහ විශ්වාසයන්ගේ එකට මිශ්‍රවූ රන් කෝවක් බඳුවූ පැල්මයිරාව  ග්‍රීක, රෝමානු සහ පර්සියානු මෙන්ම ආරාබියානු බලපෑම යටතේ එකට සම්මිශ්‍රණය වූ  ඉතා සුවිශේෂ සභ්‍යත්ව වටිනාකම්  සමස්තයක් විය. එකී තත්ත්වය සිරියාවේ අතීතයට මෙන්ම අනාගතයට ද කෙතරම් වැදගත්ද යන්න ඔහු අවබෝධකරගෙන සිටියේය.  තම නිජබිමෙන් පලා නොයා නොබියව ඝාතකයාට මුහුණ දීමෙන් ඔහු ලොවට  එක්තරා පණිවිඩයක් ලබා දුන්නේය. එනම් පැල්මයිරාව විසින් සුරක්ෂිත කළ අතීත  සම්ප්‍රදායන්, එනම් එකට දිවිගෙවූ විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන් විසින් ගොඩනැගූ  බහුසංස්කෘතික වටිනාකම්   දිවි පරදුකොට හෝ  ආරක්ෂිත කර ගැනීම කෙතරම් වටිනා කාරණයක්ද යන්නයි.

තම අරමුණ වෙනුවෙන් මරණයට පත්වුණු ම්ලේච්ඡයන්ට  මරණින්  මතුව ස්වර්ගයේ දොර විවෘත වන්නේය වෙනුවෙන් තමන්ට රිසිසේ ජයඝෝෂා නැඟීමට අයිසිස් ත්‍රස්තයන්ට හැකිය. එහෙත් සැබවින්ම දෙවන උපතක් සිදුවන්නේ නම් ඔවුන්ට ස්වර්ගයේ දොරගුලු නම්  කිසිලෙසක විවිර  නොව බව අප දනිමු. ඔවුන්ගේ නම් අතීතයට එකතු වෙනවා වෙනුවට ඔවුන් විසින් උමතුවෙන් විනාශ කළ පුරාවස්තු වල දුහුවිල්ල සුළඟට මුසු වූවා සේ  ඔවුන්ගේ නාමයන්ද සුළගේ මුසුව විසිරී යනු ඇත. එහෙත් කාලිද් අසාද් වැනි ශිෂ්ටාචාරයක් තරම්ම වටිනා මිනිසුන්ගේ නාමය සදා මතකයේ රැඳෙනු ඇත. මතු අනාගතයටත් සැබෑ විරුවන්සේ ඇගයිමට සහ ගරු බුහුමනට ලක් වෙනු ඇත.

– දිනේෂ් දේවගේ

  • මෙම ලිපිය සඳහා Daily Mail සහ Guardian යන වෙබ් අඩවිවල කාල්ද් අල් අසාද්ගේ මරණය පිළිබඳ වාර්තා කරනල ලද ලිපි පාදක කොට ගත්තේය.

දෙමළ බ්‍රාහ්මී යනු කුමක් ද?

මෑතක දී දෙමළ දේශපාලඥයෙකු විසින් කළ ප්‍රකාශයක් නිසා සිංහල ජනතාව අතර කැළඹීමක් ඇති විය. දෙමළ දේශපාලකයන් ඇතැම් අදහස් ප්‍රකාශකරන්නේ සත්‍ය බවට ඔවුන් විශ්වාසකරන, වැරදි බවට ඔප්පුකර නැති, මෑතදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාධක මත ය. එසේ හෙයින් ඒ පිළිබඳ ව වංශකතා අනුව ඉදිරිපත් කරන අදහස් වලින් ඒවා විඛණ්ඩනය කළ නොහැකි ය. ඒ අදහස්වලට විරුද්ධව මතයක් ඉදිරිපත් කළ හැක්කේ එම නව පුරාවිද්‍යාත්මක සාධක ගැන අධ්‍යනයකින් පසුව පමණක් බව සැලකීම වැදගත් ය.

දෙමළ බ්‍රාහ්මී ලිපි හා දෙමළ ජනාවාස ගැන ඉදිරියෙන් ම කටයුතු කළ එක් දෙමළ විද්වතකු වන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී. පුෂ්පරත්නම් ය. ඔහු විසින් 2002 වසරේදී “ලංකාවේ දෙමළ රජවරුන්ගේ පැරණි කාසි” නම් ග්‍රන්ථය ද, 2014 දී ‘ජර්මන් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගත් වසර 2200ක් පැරණි දෙමළ බ්‍රාහ්මී සෙල්ලිපි’ නම් පත්‍රිකාව ද පලකළ නමුත් ඒවායේ සත්‍යාසත්‍ය භාවය පිළිබඳ පර්යේෂණ කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අඩු වශයෙන් එවැනි කෘති ඇති බවටවත් බොහෝ අය නොදනී. බොහෝවිට යාපනය විශ්වවිද්‍යාලයේ මේ නව පර්යේෂණ ගැන අධ්‍යනය කළා සේම උගන්වන්නට ද ඇත. එහෙත් අනෙක් විශ්වවිද්‍යාලවල විද්වතුන් මේ ගැන පිළිගතහැකි පර්යේෂණ කර නැතුවා මෙන්ම බොහෝ දෙනෙකුට මේ ගැන නිසි අවබොධයක් ද නැත. ඒ නිසා සාමාන්‍ය සිංහල ජනතාව, ඉංග්‍රීසියෙන් හා දෙමළෙන් ලියා ඇති නව අදහස් ගැන කිසිවක් නොදැන සිටියහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිතැතින් ම සිදුවන්නේ දෙමළ විද්වතකු හෝ දේශපාලනඥකු ඒ ගැන සඳහන් කරන විට සිංහල ජනතා‍ව කෝපයට පත්වීමයි. යාපනයේ උගතුන් ඒවා දැනසිටියා මෙන් ම ඔවුනොවුන් අතර සාකච්ඡා ද කළහ. එහෙත් ඒ ගැන නොදන්නා අයවළුන් සමඟ අනවශ්‍ය වාදයන්ට පැටලීමට ඔවුන් උනන්දුවූයේ නැති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී පසුබිම

ලංකාවේ මෙන් ම දකුණු ඉන්දියාවේ ද පැරණි සෙල්ලිපි තිබුණේ බ්‍රාහ්මී අක්‍ෂර වලිනි. මුල් බ්‍රාහ්මී අක්‍ෂරවලින් යුත් ලිපි පරීක්‍ෂාකිරීමේ යෙදී සිටි සුබ්‍රමනියම් අයියර් නම් දකුණු ඉන්දියානු පර්යේෂකයා වර්ෂ 1906 දී අසෝක බ්‍රාහ්මී ලිපිවල නොමැති අක්‍ෂර හතරක් සොයාගත්තේ ය. ඒවා ඇතැම් බ්‍රාහ්මී අක්‍ෂරවලට වැඩිපුර අංග එකතුවීමෙන් සාදා ඇති බව පෙනෙන්නට තිබිණ. ඒවානම්:

ව 1:දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර හතර
ව 1:දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර හතර

ආර්ය භාෂාවල නොමැති උච්චාරණ ශබ්දයන් (phonetic values) හතරක් දෙමළ භාෂාවේ තිබේ. මේ අක්‍ෂර හතර එම විශේෂිත ශබ්දයන් නිරූපණය කිරීම සඳහා ක්‍රි.පූ. 2වන සියවසේ දී පමණ නිපදවා ඇත.

මුලින් ම ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි කියැවූ විද්වතුන් මෙහි දෙමළ ල ලෙස දැක්වෙන අක්‍ෂරය ලංකාවේ ලිපිවල ද තිබෙන බව නිරීක්‍ෂණය කර එය සිංහල බ්‍රාහ්මී දන්තජ ලු ලෙස හඳුනාගෙන තිබිණ. එහෙත් එය අසෝක බ්‍රාහ්මී ලු වලට වඩා හැඩයෙන් වෙනස් විය. සුබ්‍රමනියම් අයියර් ගේ සොයාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ හමුවූ අක්‍ෂරය දෙමළ අක්‍ෂරයක් බවටත්, ඒ නිසා ලංකාවේ බ්‍රාහ්මී අක්‍ෂරමාලාවට දෙමළ අක්‍ෂරමාලාවේ ආභාසය ලැබී තිබුණ බවටත් අදහසක් ඇති විය. එහෙත් ලංකාවේ විද්වතුන් පොදුවශයෙන් එය පිළිනොගත් අතර, අදාළ අක්‍ෂරය දකුණු ඉන්දියාවේ දෙමළ උච්චාරණ ශබ්දයක් සඳහා භාවිත වුව ද ලංකාවේ එය දන්තජ ලු ලෙස භාවිත වූ බව සැලකූහ. වර්ෂ 1971 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් පලකළ ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ග්‍රන්ථයේ පළමු කොටසේ මේ ගැන සවිස්තර පැහැදිලි කිරීමක් කර තිබේ.

වර්ෂ 1981 දී යාපනයේ අන්නෛකෝට්ටේ නම් ස්ථානයක පැරණි සොහොන්බිමක් කැණීමේ දී යාපනය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකට අක්‍ෂර සහිත මුද්‍රාවක් හමුවිය. එය ක්‍රි.පූ. 3වැනි සියවසට පමණ දින නියමකරණු ලැබිණ. මෙම මුද්‍රාවේ උඩ පේළියේ නොදන්නා සංකේත තුනක් ද ඒවාට පහළින් බ්‍රාහ්මී අක්‍ෂර තුනක් ද තිබිණ.

රූපය 1: අන්නෛකෝට්ටේ මුද්‍රාව
රූපය 1: අන්නෛකෝට්ටේ මුද්‍රාව

මෙම මුද්‍රාව මුලින් ම කියැවූයේ යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාර්තිගේසු ඉන්‍ද්‍රපාල විසිනි. ඔහු එය කියවනු ලැබුවේ කොවෙතං ලෙස ය. එහි අර්ථය ප්‍රධානියා ලෙස දක්වන ලදී මේ සමඟම ශ්‍රී ලංකාවේ අක්‍ෂරමාලාවට දෙමළ අක්‍ෂරමාලාවේ ආභාසය ලැබී ඇති බවට ඇති අදහස නැවත වරක් ඉස්මතු විය. එයටත් වඩා ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී සෙල්ලිපි ඇති බවට ද අදහස් මතුවිය. ඒ අනුව දෙමළ බ්‍රාහ්මී ලෙස සලකණු ලැබූ අභිලේඛනය එය විය.

මුද්‍රාවේ අභිලේඛනය ‘කොවෙතං‘ ලෙස කියවා, එය දෙමළ බ්‍රාහ්මී ලිපියක් ලෙස අර්ථදක්වන විට පරණවිතාන මහතා ජීවතුන් අතර නොසිටි හෙයින් වෙනත් කියවීමක් ඉදිරිපත් නොවිණ. ඒ අනුව එම කියවීම ලංකාවේ උතුරේ මෙන්ම දකුණේ ද, එසේම විදෙස් රටවල විද්වතුන් ද තරමක සැකයකින් යුතුව පිළිගත්හ.

අතීත ශ්‍රී ලංකාවේ දෙමළ ජනාවාස පිළිබඳ මතය

ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී ලිපි ඇති නම් එයින් ගම්‍යවන අනෙක් කරුණ වූයේ එසේ නම් ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. සමයේ සිට දෙමළ ජනාවාස තිබුණ බවයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනාවාස තිබුණ බවට කිසිම සාහිත්‍යමය මූලාශ්‍රයක සඳහන් නොවේ. එසේම 11 වන සියවසේ චෝළ සමයට පෙර දින නියම කළ හැකි කිසිම දෙමළ සෙල්ලිපියක් යාපනයෙන් හමුව නැත. අනුරාධපුරයෙන් පමණක් 8-10 සියවස්වලට අයත් දෙමළ සෙල්ලිපි හතක් හමුවී ඇත (පද්මනාදන්). ඒවානම්:

  1. අභයගිරි ලිපිය – 8වන සියවසට අයත් අභයගිරි මළුවේ සටහන්කර ඇති බෝධිඝරයකට වර්ග අඩි 256 මළුවක් පූජාකර මුදල් ද දුන් බවට ලිපියක්.
  2. රුවන්වැලි සෑ පළමු ලිපිය – 8-9 සියවසට අයත් ද්වාරපාලක පාදමේ ඇති, අරක්කන් ප්‍රතිමාවක් (ඇතැම්විට ඒ ද්වාරපාලක ඵලකය) නෙලූ බවට ලිපියක්.
  3. රුවන්වැලි සෑ දෙවන ලිපිය – 10වන සියවසට අයත් ඉහත ස්ථානයේ ම සටහන්කර ඇති මණ්ඩපයක් ගොඩනැගූ බවට ලිපියක්.
  4. පන්කුළිය භික්‍ෂුණී ආරාමයේ ලිපිය – 9-10 සියවසට අයත් පඩිපෙළේ ඇති කේචරී ආරචි නම් තැනැත්තෙකු විසින් දානය සඳහා කළ පරිත්‍යාගයක්.
  5. මාක්කෝටායි ලිපිය – දෙවන සේන (839-74) රජු සමයට අයත් අනුරාධපුරයේ තිබුණ මාක්කෝටායි නම් විහාරයට නාන්කුණාට්ටර් නම් වෙළඳ ශ්‍රේණිය විසින් කළ පින්කමක් ගැන විස්තරයක්. මාක්කෝටායි යනු කේරළයේ ගමක් බව පද්මනාදන් පවසයි. ඇතැම්විට දෙවන සේන රජු දකුණු ඉන්දියාව ආක්‍රමණය කළ අවස්ථාවේ මියගිය ඔවුන්ගේ හිතවතුන් වෙනුවෙන් විය හැකි ය. මෙහි අවසානයේ දෙවන සේන රජුට ස්තෝත්‍රයක් සඳහන් වේ.
  6. හින්දු දේවාල ලිපි – සංඝබෝධි රජු ගේ 7වන වසර ලෙස සඳහන් 9වන සියවසට අයත් ලිපි දෙකක්.

මේවායින් රටේ දෙමළ ජනාවාස තිබුණු බවක් හෙළිනොවේ. මේවා කර ඇත්තේ ඇතැම්විට ආක්‍රමණ අවස්ථාවලදී පැමිණි අය විය හැකි ය. පස්වන ලිපිය අනුරාධපුරයේ පිහිටා ඇත්තේ එහි රැඳීසිටි වෙළෙඳුන් විසිනි. ඒ අනුව අනුරාධපුරයේ අවසාන භාගය වන තෙක් දෙමළ ජනාවාස අනුරාධපුරයේ හෝ වෙනත් කිසිම ස්ථානයක තිබුණ බවත් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. සමයට අයත් බෞද්ධ දෙමළ බැතිමතුන් විසින් කළ බ්‍රාහ්මී සෙල්ලිපි පහක් ලැබී තිබේ. මේ පහම එකල පැවති සිංහල භාෂාවෙන් ලියා තිබෙන අතර ඔවුන් ගේ නම් ද අන් අයගේ මෙන් ප්‍රාකෘත ය. එයින් පැහැදිලිවන්නේ ඔවුන් ද අනෙක් එවැනි ජන කොටස් මෙන් ප්‍රධාන ප්‍රවාහයට එකතුවී ඇති බව ය. එසේ නම් යාපනයේ දෙමළින් ‘නායකයා’ යයි සඳහන් මුද්‍රාවක් තිබුණේ කෙසේ ද යන්න පැහැදිලි නොවේ. අනෙක් අතට ඉන්පසු සියවස් 12ක් පමණ කාලයක් කිසිම සෙල්ලිපියක් නැත්තේ ඇයිදැයි යන්න ද සොයාබැලිය යුතු ය.

යාපනයේ දෙමළ ජනාවාස නොතිබුණ බව චූළවංසයේ (50.12) ඇති සඳහනකින් පැහැදිලි වේ. පළමුවන සේන රජු ගේ පාලන සමයේ දී (819-39) පාණ්ඩ්‍ය රජෙකු වූ ශ්‍රීමාර ශ්‍රී වල්ලභ විසින් ආක්‍රමණයක් සිදු කරණ ලදි. ඒ අවස්ථාවේ දී යාපනයේ තැනින් තැන පදිංචිවී සිටි ද්‍රවිඩයන් ද ආක්‍රමණිකයන් හා එක් වූ බව එහි සඳහන් ය. එයින් පෙනී යන්නේ එම කාලය වනවිට යාපනයේ දෙමළ ජාතිකයන් සුළු පිරිසක් පදිංචි ව සිටි බවයි. එනම් සුළු වශයෙන් දේශීය දෙමළ ජනතාවක් සිටි බව එමගින් ස්ථිර වේ. ඉහත සඳහන් කළ අනුරාධපුරයේ ඇති පස්වන දෙමළ සෙල්ලිපියේ සදහන්වන දෙවන සේන රජු මේ ආක්‍රමණයට පසු පාණඩ්‍ය දේශය ආක්‍රමණය කර කොල්ලකාගත් සියළු වස්තුව නැවත ගෙන ආවේ ය.

ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී පිළිබඳ පර්යේෂණ

වර්ෂ 1979 සිට 1983 තෙක් ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතුකළ ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න වර්ෂ 1984 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශනයක් වූ එපිග්‍රැපියා සෙලනිකා හත්වන වෙළුම ප්‍රකාශයට පත්කළේ ය. එහි ඔහු සඳහන් කළේ ලංකාවේ සිංහල සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් ඇති බවත් ඒවා දෙමළ ළ හා දෙමළ ල බවත් ය. අන්නෛකෝට්ටේ මුද්‍රාව නිසා පිබිඳීමක් ලත් දෙමළ විද්වතුන් කරුණාරත්න ගේ මේ අදහස නිසා පර්යේෂණ කරන්නට පටන්ගත්හ. මේ වන විට දෙමළ බෙදුම්වාදී අදහස් ආරම්භ වී තිබුණ නිසා 70 දශකයේ දී නොයෙක් දෙමළ විද්වතුන් නොයෙක් පොත්පත් දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් පළකරමින් තිබිණ.
අනතුරු ව 90 දශකයේ දී ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ පර්යේෂණ කළ දේශීය හා විදේශීය විද්වතුන් ගණනාවක් දෙමළ බ්‍රාහ්මී ලෙස නම් කළ සෙල්ලිපි ගණනාවක් දකුණේ, විශේෂයෙන් තිස්සමහාරාමය ප්‍රදේශයෙන් සොයාගත්හ. නොපැහැදිලි ඇතැම් සෙල්ලිපි ද දෙමළ බ්‍රාහ්මී ලිපි ලෙස හඳුනාගනු ලැබිණ. ඒ නිසා අතීතයේ දී ශ්‍රී ලංකාවේ උතුරේ මෙන් ම දකුණේ ද දෙමළ ප්‍රජාව වාසය කළ බව විශ්වාස කරන ලදී. එසේ ම මේ ඇතැම් ලිපි ක්‍රි.පූ. 3 සියවසට අයත් බව තීරණය කළ නිසා දෙමළ ප්‍රජාව වෙනම ප්‍රජාවක් ලෙසින් ඉතා ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ජීවත් වූ බව පිළිගන්නා ලදී. මෑතක දී ඇතැම් දෙමළ විද්වතුන් හා දේශපාලඥයන් විසින් ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රජාව දෙමළ ප්‍රජාව බවට ප්‍රකාශකර සිටින්නේ මේ නිසා ය. මේ කරුණ ගැන පිළිගත හැකි කරුණු පැහැදිලි කිරීමක් සිංහල විද්වතුන් විසින් මේ වන තෙක් කර නැත.

වර්ෂ 1991 දී ජර්මනියේ කාවා ආයතනය විසින් තිස්සමහාරාමයේ අකුරුගොඩ ප්‍රදේශයේ කැණීමක් ආරම්භ කළහ. එහි පළමුවන වාර්තාව 2001 දී ප්‍රකාශයට පත්වූ අතර එහි දෙමළ බ්‍රාහ්මී සෙල්ලිපි ලෙස හඳුනාගත් ලිපි කිහිපයක් ම තිබිණ. ඒවා අතර ප්‍රධානවන්නේ තිස්සමහාරාම දෙමළ බ්‍රාහ්මී ලිපිය නම් මැටිබඳුන් කැබැල්ලක ඇති අක්‍ෂර කිහිපයකි. සිංහල විද්වතුහූ කිහිපදෙනෙක් නොයෙක් අදහස් ඉදිරිපත් කළ ද එය දෙමළ බ්‍රාහ්මී ලිපියක් බවට ඇති පිළිගැනීම එසේම පවතී. වර්ෂ 1999 දී රාජා වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි විසින් රචිත Ruhuna, An Ancient Civilisation Re-Visited නම් ග්‍රන්ථයේ අකුරුගොඩින් හමුවූ කාසි ටෝකන කිහිපයක දෙමළ බ්‍රාහ්මී අභිලේඛන ඇති බවට තීරණයකර තිබිණ. ඇත්තෙන් ම ජර්මන් වාර්තාවේ හා ඉහත Ruhuna නම් ග්‍රන්ථයේ දෙමළ බ්‍රාහ්මී ලිපි හා පාඨ ඇති බවට සඳහන් වූයේ සද්ධාමංගල කරුණාරත්න විසින් කර ඇති ප්‍රකාශනය හේතුවෙනි. එනම් ලංකාවේ දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර ඇති බවට කර ඇති ප්‍රකාශයයි. ඒ අනුව ඇතැම් අකුරු දෙමළ බ්‍රාහ්මී ලෙස හඳුනාගනු ලැබිණ.

කලින් කී ලෙස මේ විෂයය ගැන වැඩියෙන් ම හා වඩාත් සවිස්තරව ලියා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පුෂ්පරත්නම් ය. ඔහු තම පර්යේෂණ ආරම්භ කළේ ලංකාවේ දෙමළ බ්‍රාහ්මී පිළිබඳ වාර්තා ගණනාවකින් පසුව ය. ඒවා අතර:

  1. වර්ෂ 1981 දී අන්නෛයිකෝට්ටේ අභිලේඛනය දෙමළ බ්‍රාහ්මී ලෙස පිළිගෙන තිබුණි.
  2. වර්ෂ 1984 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වූ සද්ධාමංගල කරුණාරත්න විසින් ලංකාවේ සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් ඇති බව තමන් විසින් පල කළ Epigraphia Zeylanica Vol. VII, 32-33. හි සඳහන්කර තිබිණ.
  3. වර්ෂ 1999 දී රාජා වික්‍රමසිංහ හා ඔස්මන්ඩ් බෝපේආරච්චි විසින් රචිත Ruhuna, An Ancient Civilisation Re-Visited නම් ග්‍රන්ථයේ අකුරුගොඩින් හමුවූ කාසි ටෝකන කිහිපයක දෙමළ බ්‍රාහ්මී අභිලේඛන ඇති බවට තීරණයකර තිබිණ.
  4. වර්ෂ 2001 දී ජර්මනියේ KAVA ආයතනය විසින් අකුරුගොඩින් ලැබුණ මැටිබඳුන් කිහිපයක් තිබුණ අභිලේඛන දෙමළ බ්‍රාහ්මී ලෙස සටහන් කර තිබිණ.
  5. ඉහත කරුණු වැරදි බවක් කිසිම පර්යේෂකයෙකු විසින් තහවුරුකර නොතිබිණ.

පිළිගත් පුද්ගලයන් ගේ හා ආයතනවලින් දක්වා ඇති මේ සාධක පුෂ්පරත්නම් ගේ පර්යේෂණවලට ඉවහල් වූවා සේම උත්තේජනයක් වූවා නිසැක ය. එහෙත් එකදු දෙමළ සෙල්ලිපියක්වත් සොයාගැනීමට ඔහු අපොහොසත් විය. ඒ අනුව ඔහු කළේ සිංහල බ්‍රාහ්මී ලිපිවල කිසියම් දෙමළ වචන ඇතිදැයි සොයාබැලීම ය. කළුගල් පෘෂ්ඨයන් මත තිබුණ නොයෙක් විශමතාවන් උපයෝගීකර ගැනීමෙන් එවැනි වචන ඇතැම් සෙල්ලිපිවල ඇති බව ඔහු කියා සිටියේ ය. ඒ නිසා ශ්‍රී ලංකාවේ දකුණේ දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර සහිත බොහෝ සෙල්ලිපි ඇති බව 2014 දී ඔහු කියා සිටියේ ය. එසේ ම එහි දෙමළ පාලකයන් සිට ඇති බවත් දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර සහිත කාසි ද ඔවුන් විසින් නිකුත්කර ඇති බවත් කියා සිටියේ ය. එයින් හැඟවෙන්නේ විශාල දෙමළ ප්‍රජාවක් දකුණ ප්‍රදේශයේ ජීවත්ව සිටි බව ය.

දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර හා ලිපි ශ්‍රී ලංකාවේ තිබේ ද?

ඇතැම් දෙමළ විද්වතුන් විසින් කියන පරිදි වංශකතාවල සඳහන්ව නැති දෙමළ රජවරුන් සිටියේ ද, උතුරේ හා දකුණේ දෙමළ ජනවාස තිබුණේ ද යන මතය සනාථ කිරීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට කළ යුත්තේ එම මතය ගොඩනගා ඇති මූලික සාධක වන මෑතක ඉදිරිපත් වූ පුරාවිද්‍යාත්මක සාධක ගැන පරීක්‍ෂාකිරීමෙනි. ඒවා අතර ප්‍රධානවන්නේ:

  1. අන්නෛකොට්ටේ මුද්‍රාවේ අක්‍ෂර දෙමළ බ්‍රාහ්මී ද?
  2. තිස්සමහාරාම මැටිබඳුන් කැබැල්ලේ ඇත්තේ දෙමළ බ්‍රාහ්මී අභිලේඛනයක් ද?
  3. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් විසින් කියා ඇති ලෙස ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් තිබේ ද?

යන කරුණු ය. එමඟින් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය හැකි ය. ඒ අනුව අන්නෛකොට්ටේ මුද්‍රාව හා තිස්සමහාරාම මැටිබඳුන් කැබැල්ලේ ඇති අභිලේඛනය දෙමළ බ්‍රාහ්මී බව ද සද්ධාමංගල කරුණාරත්න මහතා විසින් කියා ඇති ලෙස ශ්‍රී ලංකාවේ සිංහල බ්‍රාහ්මී සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් තිබෙන බව ද ඔප්පු වුවහොත්, ඒ දෙමළ විද්වතුන් හා දේශපාලකයන් ප්‍රකාශකරන කරුණු සත්‍යබව පිළිගැනීමට සිදුවේ.
එසේම ශ්‍රී ලංකාවේ වංශකතා දෙමළ ජාතිකයන් පිළිබඳ සත්‍යය වසන්කරන බවට ඔවුන් කියනා අදහස් ද පිළිගැනීමට සිදුවනු ඇත.

එසේ නොමැති ව වෙනත් මූලාශ්‍රය හෝ වංශකතා මත පදනම් ව කරන නොයෙක් තර්කවලින් දෙමළ විද්වතුන් විසින් මතුකර ඇති මතවාද ගැන නිසි සංවාදයක් ඇතිවන්නේ නැත.

  1. Early Tamil Epigraphy From the Earliest Times to the 6th Century A.D. By Iravatham  Mahadevan, An Overview by S. Swaminathan (http://www.indian-heritage.org/swaminathan/ tamilscripts/index.html#slide) [13/02/2019]
  2. Inscriptions of Ceylon Vol. I, xxiii
  3. https://en.wikipedia.org/wiki/Tamil_inscriptions_in_Sri_Lanka
  4. අංක 94, 356, 357, 480 (Inscriptions of Ceylon Vol. I) සහ Epigraphical Notes, පි. 63
  5. අකුරුගොඩ ක්‍රි.පූ. සමයේ සිට අනුරාධපුර අවසාන සමය පමණ දක්වා ලංකාවේ පැවති තිස්සමහාරාමයට ආසන්න විශාල වෙළඳ නගරයකි. වර්ෂ 1978 දී පමණ දේශපාලඥයෙකු විසින් මේ ප්‍රදේශය ජනතාවට බෙදාදෙනු ලැබූ නිසා දැන් විනාශයට පත්වී ඇත.