සම නිර්මාතෘන්

අනුරාධ පියදාස
මොරටුව විශ්වවිද්‍යාලයෙන් 2001 වසරේ දී ඉංජිනේරු උපාධිය (BSc in Engineering) ලබාගත් අනුරාධ පියදාස 2006 වර්ෂයේ දී එම විශ්ව විද්‍යාලයෙන්ම ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාපති උපාධිය (MSc in Transportation Engineering) ද ලබා ගැනීමට සමත් විය. අනතුරුව, 2007 වසරේ දී කොළඹ 7, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධිය ඩිප්ලෝමාව (Postgraduate Diploma in Archaeology) ලබාගෙන එයින් පසු 2018 වසරේ දී එම ආයතනයෙන්ම පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (MSc in Archaeology) ද ලබාගැනීමට සමත් විය. පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අනුරාධගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ, පරිගණක තාක්ෂණය මෙන් ම ඒ හා බැඳුණු වෙනත් නවීන තාක්ෂණික මෙවලම් පුරාවිද්‍යා පර්යේෂණ හා කළමනාකරණ කටයුතු උදෙසා යොදාගත හැකි ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීමටයි. එ මෙන්ම නවීන තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නවතම පුරාවිද්‍යා තොරතුරු විශ්වීය ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කිරීම මෙන් ම පුරාවිද්‍යා කටයුතු සඳහා මහජන සහභාගීත්වය ලබා ගැනීමේ ක්‍රම පිළිබඳව ද අත්හදා බැලීමයට ඔහු විශේෂ රුචිකත්වයක් දක්වයි. විවෘත මූල ගූගල් සිතියම හා ඒ හා සම්බන්ධ වෙනත් තාක්ෂණික යෙදවුම් භාවිතය පිළිබඳ විශේෂඥයෙකු වන අනුරාධ ඒ පිළිබඳ දැනුම සමාජගත කිරීම සඳහා ද විශේෂ උනන්දුවක් දක්වයි. වෘත්තියෙන් විද්‍යුත් ඉංජිනේරුවකු වන අනුරාධ පියදාස රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක තොරතුරු තාක්ෂණික මෙන් ම භූගෝලීය තොරතුරු පද්ධති (Geographical Information Systems) පිළිබඳ විශේෂඥයකු හා උපදේශකයෙකු ලෙස සේවය කරයි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාව හා සම්බන්ධ ස්වෙච්ඡා සංගම් ගණනාවක ක්‍රියාකාරී සාමාජිකයකු ද වන අනුරාධ රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ (Royal Asiatic Society of Sri Lanka) යාවජීව සාමාජිකයෙකු මෙන් ම එහි සභා සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කර ඇති අතර ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය හා ශ්‍රී ලංකා කෞතුකාගාර සංගමයේ කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

ස්වේච්ඡා සාමාජිකයන්

එන්. එච්. සමරසිංහ
එන්. එච්. සමරසිංහ මහතා1976 වසරේ දී එවකට විද්‍යෝදය නමින් හඳුන්වනු ලැබූ වර්තමාන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු දරා 2010 වසරේ දී විශ්‍රාම ලැබීය. ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන ‌මෙතුමා විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල ‌මෙන් ම විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමග බෙදා ගැනීමට කැමැත්තක් ද දක්වයි. එතුමා ඒ ‌වෙනුවෙන් ම "සැරිසර සමරු" නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි.