Home Blog

2023 දී වඩාත් ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක සොයාගැනීම් 7ක්

ලිපි අංක 01

2023 දී වඩාත් ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක සොයාගැනීම් 7ක්

නැතිවූ මායා නගරයක්; ඉතාලියේ ජලයෙන් යට වූ දේවස්ථානයක්; මළ මුහුද අසල ගුහාවක ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති කඩු යනාදී වූ මෙම සොයාගැනීම් ඉතිහාසය පිළිබඳ දෘෂ්ටිකෝණය වෙනස් කළහ.

ගීසා හි සකාරා ප්‍රදේශයෙන් පුරාණ ඊජිප්තු මමිකරණ ස්ථාන (workshops) සොයා ගත් බව ඊජිප්තු නිලධාරීන් මැයි මාසයේ දී නිවේදනය කළහ. නව පුරාවස්තු – ගල් ඇඳන් සහ මමිකරණය සඳහා භාවිත කළ උපකරණ ඇතුළුව මෙම ස්ථානය ටොලමියානු යුගය සහ තිස්වන රාජවංශ අවධිය දක්වා කාලනිර්ණය කෙරෙයි.

ඡායාරූපය – ෆරීඩ් කෝට්බ්, ඇනඩෝලු ඒජන්සි / ගෙටි ඉමේජස් (FAREED KOTB, ANADOLU AGENCY/ GETTY IMAGES)

පසුගිය වසර පුරාවිද්‍යා ක්ෂේත්‍රය සඳහා යහපත් කාලපරිච්ඡේදයක් විය: කෘත්‍රිම බුද්ධිය වැනි නව ශිල්පීය ක්‍රම වේගවත් ඉදිරිගමනක් සඳහා මඟ පාදන ආකාරයත්, පූර්වයේ දී එළිදරව් කරගන්නා ලද මානවකෘති මත විද්‍යාඥයන් නව පැහැදිලිකිරීම් ඇති කරන ආකාරයත් වෙත එම වසර සාක්ෂි දරණ ලදී.

එහෙත් එය ඇතැම් පුරාණ සුසාන ක්‍රමවේදයන්ගේ රහස් හෙළිකරන ඊජිප්තුවේ මමීකරණ සිදුකළ ස්ථාන (workshops) කිහිපයක්;  වසර 2000කට පමණ පූර්වයෙන් අරාබි කාන්තාර ප්‍රදේශයෙන් පැමිණි වෙළෙඳුන් විසින් ඉතාලියෙහි ඉදිකරන ලද ගිලුණු දේවස්ථානය; සහ වනාන්තරය තුළ සැඟව ගිය නමුත් ලේසර් තාක්ෂණය ඔස්සේ අනාවරණය කරගන්නා ලද සුවිශාල මායා නගරය ඇතුළු නව පුරාවිද්‍යාත්මක සොයාගැනීම සිදු වූ වර්ෂයක් ද විය.

මේ ආකාර වූ වඩාත් සිත්ගන්නා සුළු නව සොයාගැනීම් හතක් කොටස් වශයෙන් මෙලෙස ඉදිරිපත් කෙරෙන අතර මේ එහි පළමු ලිපියයි. මෙම ලිපිය National Geographic වෙබ්අඩවියෙන් උපුටාගෙන පරිවර්තනය කරන ලද්දකි. (https://www.nationalgeographic.com/)

1. මළ මුහුදේ කඩු (The Dead Sea swords)

ඡායාරූපය – https://gizmodo.com.au/2023/09/four-roman-swords-found-hidden-in-judean-desert-cave/

ජූනි මාසයේ දී පුරාවිද්‍යාඥයන් විසින් ක්‍රිස්තු වර්ෂ පළමු සහ තුන්වන සියවස් අතර කාලයේ දී යුදෙව් කාන්තාරයේ ගුහාවක අතහැර දැමූ මනා ලෙස සංරක්ෂිතව තිබුණු කඩු හතරක් සොයා ගන්නා ලදී. මෙම කාලය යුදෙව් කාන්තාර කලාපය යුදෙව් කැරලිකරුවන්ට රෝම පාලනයෙන් රැකවරණයක් වූ සමයකි. ලී සහ සම් සාමාන්‍යයෙන් ඉක්මනින් දිරාපත් වන නමුත් මෙහි ඇති වියළි පරිසරයෙන් සපයන ලද ආරක්ෂාව හේතුවෙන් කඩු ඒවායෙහි මිට සහ කොපුවලින් සමන්විත වේ.

ඡායාරූපය – https://www.the-express.com/news/science/111373/roman-weapons-cache-judean-desert

ජෙරුසලමට ගිනිකොණ දෙසින් මළ මුහුද අසල පිහිටි ගුහාවෙන් පළමුවරට පිලම් (Pilum) ලෙස හඳුන්වනු ලබන රෝමානු හෙල්ලයක යකඩ තුඩක් සහ වැඩදමන ලද ලී කැබලි සොයාගැනීමෙන් පසුව පර්යේෂකයින් විසින් ලෝහ අනාවරක භාවිතයෙන් ගුහාව පිරික්සන ලද අතර එහි දී හුණුගල් අවක්ෂේප පසුපස තිබී මෙම කඩු සොයාගනු ලැබුණි.

ඡායාරූපය – https://www.the-express.com/news/science/111373/roman-weapons-cache-judean-desert

ක්‍රිස්තු වර්ෂ 132 සහ 136 අතර බාර් කොඛ්බා කැරැල්ලේ දී යුදෙව් කැරලිකරුවන් විසින් යුද පිටියකින් එකතු කර හෝ රෝමානු යුධ කඳවුරකින් සොරකම් කිරීමෙන් පසු මෙම කඩු ගුහාවෙහි සඟවා තබන්නට ඇති බව විශ්වාස කෙරේ. කඩු නිර්මාණය කළ ස්ථානය සහ කාලය සොයාගැනීම සඳහා ඉතා සියුම් සාධකයක් ලෙස මෙහි මනාව ආරක්ෂා වී ඇති දැව සහ සම් උපකාරී කරගත හැකිවීමෙන් පුරාවිද්‍යාඥයන් මේ පිළිබඳව වඩාත් උද්දාමයට පත්ව ඇත.

සාමය සඳහා මානවවාදය – බෞද්ධ දර්ශනයේ පර්යාලෝකය – මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

(ගෝලීය සාමය, සමගිය හා සහජීවනය සඳහා සමයාන්තර කතිකාවත 2011 මැයි 16 දින එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතා කළ, වෙසක් සමරු දේශනයේ අනුවාදය[1] – දයාසිසිර හේවාගමගේ)

ජගත් සමරුවක් වෙනුවෙන් වූ ජගත් ප්‍රජාවගේ උත්කෘෂ්ඨ එකමුතුවක දී සාමය, සමගිය පිලිබඳව මගේ හැඟීම් බෙදාහදා ගැනීමට ලැබීම මට මහත් අභිමානයක්. මැදුම් පිළිවෙතට පිළිපන්, සම්බෝධියට පත් චින්තකයකුගේ මඟපෙන්වීම සහිත සංස්කෘතියක් දායාද කොට මම උපත ලද්දෙමි. බුද්ධිමය පෞරුෂත්ව සංවර්ධනය සඳහා දයාව, සමානත්වය, නිදහස් සිතිවිලි ලද දෙයින් තෘප්තිමත් වීම වැනි ගුණාංග ඇතුලත් කර ගත යුතු බවට බුදුන් දේශනා කළේ වසර දෙදහස් හයසියයකට පමණ පෙරයි. විමුක්තිය, සන්සුන් මනස ගැන සිද්ධාර්ථ ගෞතමයන් හෙවත් බුදුන්ගේ උදාර පණිවුඩය රැගත් නව සංස්කෘතික හා බුද්ධිමය ආචාර ධර්ම උප මහාද්වීපය තුළ හා ඉන් ඔබ්බට එකල පැතිර ගියේ ය. අප මෙහි ඒකරාශී වූයේ එම ශාන්තිනායකයන් ගැන මතකය ආවර්ජනය කිරීිමට පමණක් නොවේ. අයුක්තිය, වෙනස්කම්, විරෝධය, ගැටුම වෙනුවට සාමය, සමගිය හා සහජීවනයේ ආලෝක ධාරාව ලෝකය වෙත එල්ල කිරීමට ය. ශ්‍රී ලංකාවේත් සෙසු ලෝකයේත් නූතනයේ පැනනැඟ ඇති ගැටුම් සමනය සඳහා බුදුන් අනුදත් මඟ, දාර්ශනික හා සංස්කෘතික සම්ප්‍රදායන් ඔබ අබිමුව තැබීමට මම උත්සාහ කරමි. ගැටුම් සමනය සඳහා උරුමය, සාම අධ්‍යාපනය, සංස්කෘතික අන්‍යෝන්‍යතාව වැනි සංකල්ප යොදා ගැනීම අවැසි වෙයි. සමාජයේ විවිධ මට්ටම්වල තිබූ ගැටුම් වලට බුද්ධි සම්පන්න ලෙසත්, දයානුකම්පාවෙනුත් මැදිහත් වීමට තිබූ නම්‍යශීලී හැකියාව නිසා බුදුදහම සාර්ථක විය. එය පැවැත්ම හා නැවැත්මට අදාල මූලෝපායයන් පිළිබඳව දාර්ශනික විග්‍රහයක යෙදෙන දර්ශනයක් පමණක් ම නොවේ. ප්‍රායෝගිකව, ප්‍රවිෂ්ඨ වන ඕනෑම ස්ථානයක වෙසෙන ප්‍රාණීන් සියල්ල ඊට ආකර්ශනය කරගැනීමට සමත් දහමක් ද වෙයි. එය වෙනස්කම් නොසලකන සැමට සමව සළකන කරුණා ගුණයක් ද සහිත ය.

සරල ගැමි සංස්කෘතීන් වඩාත් සංකීර්ණ නාගරික සංස්කෘතීන් බව පරිවර්තනය වෙමින් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ උතුරු ඉන්දියාවේ ඇති වූ සමාජ, ආර්ථික හා දේපාලනික වෙනස්කම්වලට ප්‍රතිචාරයක් ලෙස බුදුදහම පහල වෙයි. කොන්කිරීම, තරඟකාරිත්වය, විසංවාදය, ගැටුම මෙම වෙනස්කම් තුල මතුව පෙණින. බුදුන් වදාළ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අනුන්ගේ ධනය උදුරා ගැනීම නිසා දුප්පත්කම ඇති විය. ඒ නිසා සමාජ අසහනය ගැටුම් මෙන් ම විරෝධතාවන්, පරස්පරයන් නිසා මානසික හා කායික  සංකූලතාවන්  ඇති විය. කලින් පැවැති සමාජ ආර්ථික හා දේශපාලන සබඳතා යලි අර්ථකථනය කළ යුතු විය. පූර්ව නාගරික සරල ගැමි සමාජවල තිබුණ සමාජ වටිනාකම්, සබඳතා වෙනුවට නාගරික, සංකීර්ණ සබඳතා ආදේශ විය. එම සබඳතා අපෞද්ගලික ය. ප්‍රාදේශීය අධිකාරී බලය හා ආර්ථිකය රැක ගැනීමට තැත් කිරීමේ දී රාජ්‍යයන් මුදාහල ප්‍රචණ්ඩත්වය විනාශකාරී හා වේදනාකාරී විය. පුද්ගලවාදය ඉස්මතු වූ සමාජයක අධික සුඛවිහරණය හා අන්ත දුක්ඛිතභාවය යන අන්ත දෙක පවතියි. එම නිසා දුක, පරපීඩනය හා අනාරක්ෂිතභාවය එකල සමාජයේ යථාර්ථය විය. මෙම අන්ත දෙක අතර සිර වී තෙරපී පීඩනයට පත් ව සිටි පුද්ගලයා සහ සමාජයට සහනය ගෙන එන මධ්‍යස්ථ ජීවන පිළිවෙතක් ගෞතම බුදුන් ඉදිරිපත් කළේය. ගැටුම් සමථකරණය සඳහා වූ මුල්ම සමාජ ගිවිසුම ඉදිරිපත්ව ඇත්තේ අග්ගඤ්ඤ සූත්‍රයෙනි. ගැටුම් නිසා පීඩනය පත් වූ සමාජය තුළ ගැටුම් සමථකරණය සඳහා පුද්ගලයකු පත් කර ගැණුන අතර ඔහු ’මහා සම්මත’ නම් විය. නීතිය හා සාමය, සමාජ හිමිකම් රැකීම මහා සම්මතගේ කාර්යය යි. යහපාලනය, විනිවිදභාවය, වගවීම වැනි පාලන ධර්මයන් මහා සම්මත විසින් රැකිය යුතු බව අග්ගඤ්ඤ සූත්‍රය පෙන්වා දෙයි. මෙම යහපාලන මූලධර්මයන් මහාසුදස්සන හා චක්කවත්ති සීහනාද සූත්‍රයන් මඟින් තවදුරටත් පැහැදිලි කරයි. ජගත්පාලකයා හෙවත් චක්කවත්ති රජු විසින් අනුගමනය කළ යුතු රාජධර්ම දහයක් පෙන්වා දෙයි. රජු වගවිය යුත්තේ යටත්වැසියනට පමණක් නොවේ. තමනට නතු භෞමික පරිසරය ද රකිමින් සදාචාර සම්පන්න ගුණගරුක උසස් ජීවන තත්ත්වයකට පසුබිම සැකසිය යුතු ය. එම නිසා සමාජය හා ජීවන පරිසරය සමානාර්ථ වචන ලෙස සැළකෙයි. පරිසර සංරක්ෂණය සඳහා බෞද්ධ ව්‍යවස්ථාව ගිහිවිනයට මෙන් ම භික්ෂු විනයට ද ඇතුලත් විය.

මිනිසුන් සහ පරිසරය අතර මෙම සහජීවන සබඳතාව සහ අපගේ පැවැත්ම සඳහා එහි අන්තර් රඳා පැවැත්මේ වටිනාකම පැහැදිලිව පිළිබිඹු කරයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බව කියන බෞද්ධයන්ගේ පූජනීය වෘක්ෂය හෙවත් Ficus religiosa තිරසාර පැවැත්ම සඳහා අවශ්‍ය ආරක්ෂිත ජෛව ගෝලයේ සංකේතාත්මක නිරූපණයකි.

දැනුම හා ප්‍රඥාව සමඟ සත්‍යය සම්බන්ධ වන ආකාරය බුදුන් වහන්සේ සියුම් ලෙස පෙන්වා දී ඇත. පැවැත්මේ යථාර්තය සහ සියළුම භෞතික දේවල අනිත්‍ය ස්වභාවය සැබෑ දෘෂ්ටිකෝණයෙන් වටහා ගත යුතු ය. ධර්මය පැහැදිලිව ම, තමාම අවබෝධ කර ගත යුතුය. ස්වයං අවබෝධය, අකාලික බව හා විමර්ශනාත්මක චින්තනය (සංදිට්ඨික, අකාලික, ඒහිපස්සික) යන තුන්ගුණ දැනුම පිළිබඳ බෞද්ධ න්‍යායේ ආත්මයයි. කාලාමයන්ට බුදුන් පෙන්වා දුන්නේ දැනුම උඩින් පහලවන දෙයක් නොවන බවයි.  එය නිරෝධායනය වූ සිතකින් විමර්ශන ආත්මයකින් සාක්ෂාත් කරගත යුතුය. දැනුම සොයන අයට විලංගු හතරකි. පක්ෂග්‍රාහීත්වය, අගතිය, බිය සහ මුලාව ඇතිව දැනුම සොයා යන ගමන යා නොහැක. විමර්ශන හා චින්තන නිදහස නැති සමාජයක දැනුමට ඉඩක් නැත.  

බෞද්ධ භික්ෂු හා භික්ෂුණී ශාසනය මඟින් දැනුමේ සහ සාමයේ පණිවිඩය සමාජයට විශාල වශයෙන් බෙදා හරින ලදී. මිනිසුන්ට මිනිසුන්ව සම්බන්ධ කිරීමේ චේතාන්විත ව්‍යාපාරයක් බුදුසමය මඟින්  හඳුන්වාදුන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමානාත්මතා පදනමකින් සාමූහිකයක් හෝ සංඝ-ගණයක් පිහිටුවා ගැණින. භික්ෂූන් හෝ භික්ෂුණීන් ලෙස එම සාමූහිකයේ සාමාජිකත්වය ගෙන ශාසනයට සම්බන්ධ වූ ගිහි සාමාජිකයින්ට ඔවුන්ගේ සමාජ අනන්‍යතාවය සහ එයට අනුබද්ධ තත්ත්වය අත්හැරීමට සිදු විය. නෙක නෙක දෙසින් ගලන අනේක ගංගාවන් ගේ ජලය සාගරයට එක්ව එකම ලුණු රසයක් ලබා ගන්නාක් මෙන් සසුනට සම්බන්ධ වූ අය සමානාත්මතා තත්ත්වයට පත් වේ. පෙර පැවති සමාජ තත්ත්වය හෝ තරාතිරම අහෝසි වෙයි. ඒ මත පදනම්ව කිසිවකුට වෙනස්කම් කළ නොහැක. බුදුන් වහන්සේ සමාජ වෙනස්කම් කිරීම පැහැදිලිව ම හෙළා දුටු අතර කොන්දේසි විරහිතව සමානාත්මතාවයේ වටිනාකම තහවුරු කළහ. ආර්ය යන පදය නැවත නිර්වචනය කරන ලදී. මානුෂීය හා සදාචාරාත්මක හැසිරීම් ඇති පුද්ගලයා ආර්ය වෙයි. උපතින් කිසිවකු උසස් හෝ පහත් නොවෙයි.

බුදුරදුන් තම ප්‍රථම ශ්‍රාවකයන්ට පැවසුවේ ගම් නියම්ගම්වල සැරිසරා බහුතර ජනයාගේ හිත සුව පිණිස කටයුතු කරන ලෙසයි. භික්ෂූන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාට ස්වභාෂාවෙන් ප්‍රදේශයේ ජනතාව සමඟ සන්නිවේදනය කරන ලෙස උපදෙස් දෙන ලද අතර එමඟින් අධිපතිවාදී පූජනීය භාෂාව ප්‍රතික්ෂේප විය. වාචික සම්ප්‍රදායේ පැවැති ප්‍රාදේශීය ජනප්‍රවාද උකහා ගෙන ජාතක ආඛ්‍යාන ආකාරයෙන් නැවත ප්‍රකාශ කරන ලදී. මෙම සරල කථා මඟින් ප්‍රාදේශීය ප්‍රජාවන් වෙත දැහැමි, අධ්‍යාත්මික, යුතුකම් සහ බැඳීම් සහිත ජීවිතයක වටිනාකම් සහ කුසලතා ගෙන ගියේය. මිනිසුන් අතර සම්බන්ධතාව වැඩිදියුණු කළ සන්නිවේදන මාර්ගයක් ලෙස ද මෙම ආඛ්‍යාන කලාව වැදගත් විය. පංච ශීලය හෙවත් මූලික ගිහි ආචාර ධර්ම මඟින් පුද්ගලයා සමාජයට වගකියන අයකු ලෙස ගොඩනඟන නිසා එමඟින් සමාජයේ ආතතිය සහ ගැටුම් අවම කරයි. ජනතාව වෙත ළඟාවීමට දේශීය ව්‍යවහාර භාවිතා කිරීම බුදුන් වහන්සේගේ විශේෂ ගුණයකි.

බුදු දහම කිසි විටෙකත් මහාද්වීප පුරා බලහත්කාරයෙන් බෙදා හරිනු ලැබුවේ නැත. අවශෝෂණය කර ගැනීම, උකහා ගැනීම මඟින් සාමකාමී ව්‍යාපාරයක් ලෙස එය ව්‍යාප්ත විය. එය ධර්මය ලෙස පමණක් නොව සදාචාරාත්මක හැසිරීම්, භාෂාව සහ අක්ෂර, කලාකෘති සහ ගෘහ නිර්මාණ ශිල්පය යන සමාජ සම්මතයන් නියෝජනය කරන උසස් සංස්කෘතියක් ලෙස ව්‍යාප්ත විය. බෞද්ධ ආරාම සමාජ සංස්කෘතික ආකර්ශන මධ්‍යස්ථාන විය. බුද්ධිමය ක්‍රියාකාරකම් මෙන් ම විශිෂ්ටත්වයේ ප්‍රකාශිත මධ්‍යස්ථාන විය. සමාජ හිතකාමී ජීවන කුසලතා සහ ශාස්ත්‍රීය විෂය මාලා අධ්‍යයන කේන්ද්‍රයන් වූයේ ය. මෙය එකල සමාජය අගය කරන ලද දැනුමේ ස්වභාවයට හා සමාජ ප්‍රවේශයන්ට සාක්ෂියකි. පළමු සහශ්‍රකය වන විට එවැනි මධ්‍යස්ථාන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ලෙස දියුණු විය. තක්ෂිලා, නාලන්දා, ඹ්දන්තපුරි, වික්‍රමශිලා අනුරාධපුර (අභයගිරිය හා මහාවිහාර) යන ස්ථාන විශ්වවිද්‍යාල විද්‍යායතන විය. මෙම මධ්‍යස්ථානවලින් සමහරක ඉන්දියාව, චීනය, ශ්‍රී ලංකාව, පර්සියාව, තුර්කිය සහ තවත් රටවල් කිහිපයකින් සම්බන්ධ වූ විදේශීය සිසුන් සිටියේය. මෙම ආරාම සහ ඒවා පිහිටි නාගරික මධ්‍යස්ථාන සම්භාව්‍ය ලෝකයේ බහු සංස්කෘතික දොරටු විය. විවිධ සංස්කෘතීන් සහ විශ්වාස පද්ධතිවල පුද්ගලයින් කිසිදු බාධාවකින් තොරව මිශ්‍ර ව එක්ව කටයුතු කළ බව පෙනෙයි. බුදුදහම සැබවින්ම දේශසීමා ඉක්මවා ගිය සහ වාර්ගික, භාෂා, සංස්කෘතික සහ ආගමික බාධක පවා ඉක්මවා ගිය බුද්ධියේ සහ උසස් සංස්කෘතියේ ධර්මයකි. බෞද්ධ සංස්කෘතිය අත්‍යවශ්‍යයෙන්ම ජාත්‍යන්තර ස්වභාවයෙන් යුක්ත විය.

වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව, විවිධ ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ භාෂා කණ්ඩායම් සඳහා අභිසාරී ස්ථානයක් විය. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී පමණ බුද්ධාගම සහ ජෛන ආගම හා උතුරු ඉන්දියානු සමාජ මතවාදයන්ගේ ආගමනය මඟින් මෙම දූපත් සමාජයට සුවිශේෂී අනන්‍යතාවයක් ලබා දුන්නේය. එය ශිෂ්ටාචාරයේ ආරම්භය යි. විශ්ව සංස්කෘතිය හා එක්වීමේ ප්‍රකාශනය යි. ඉන් පසුව බුද්ධ ධර්මය සහ පැවිදි සමාජය මඟින් ශ්‍රී ලංකාවේ බුද්ධිමය, අධ්‍යාත්මික සහ සංස්කෘතික පෞරුෂය හැඩගස්වා ඇත. මෙම දූපත් සමාජය ධනාත්මකව අන්තර් ක්‍රියා කරමින් තම අනන්‍යතාවය පවත්වා ගෙන ගිය විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන් ගැවසුණු දේශයක් විය.

යුනෙස්කෝව විසින් ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත. එය විවිධත්වය සඳහා අවකාශය දුන් බලවේගයක් ලෙස බුදුදහමේ දායකත්වය පෙන්වන ජීවමාන සාක්ෂි වෙයි. එම පුරාණ ආරාම මඟින් ඉන්දියාව, අග්නිදිග ආසියාව, චීනය, බටහිර ආසියාව සමඟ පවත්වාගෙන ගිය ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා නිදසුනකි. අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ලෝක උරුම ස්ථාන සහ තිස්සමහාරාමයේ ප්‍රාථමික ජනාවාස මධ්‍යස්ථානවලින් පවා බෞද්ධ, චීන, බටහිර ආසියානු, හින්දු, ඉන්දියානු සහ ඉස්ලාම් සම්භවයක් ඇති කෞතුක වස්තු හමු වී ඇත.

මෙම බහුසාමයික එකමුතුව වර්තමානයේ පවා පවතී. ලෝක ප්‍රකට ශ්‍රී පාදය හෙවත් ආදම්ගේ කඳු මුදුන යනු සියලුම ප්‍රධාන ඇදහිලි බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පූජනීය කන්දකි. පොළොන්නරුවේ යුනෙස්කෝ ලෝක උරුම නගරයේ බෞද්ධ ආරාම තුළ හින්දු සිද්ධස්ථාන රාශියක් ඇත. කතරගම දේවාලය බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයකි. සුප්‍රසිද්ධ වන්දනාකරුවන්ගේ මාර්ගය නොහොත් වාර්ෂික පාද යාත්‍රාව උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගම දී අවසන් වෙයි. එයට හින්දු, බෞද්ධ සහ ඉස්ලාම් බැතිමතුන් එකතු වෙයි. එබැවින් හවුල් උරුමය යනු ඓතිහාසික උරුමයක් මෙන් ම ජීවමාන යථාර්ථයකි.

පශ්චාත් යටත් විජිත උපාය මාර්ග මඟින් වසර පනහකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව මත පටවන ලද ගැටුම් තත්ත්වයන් ශ්‍රී ලංකා සමාජය වියවුල් කර ඇත. පශ්චාත් ගැටුම් යුගයක, ශ්‍රී ලංකාව එහි වේදනාකාරී අත්දැකීම්වලින් එතෙර වීමට උත්සාහ ගනියි. එමඟින් තිරසාර සාමය සහ සහජීවනය සඳහා සම්බන්ධතා පාලම් ගොඩනඟමින් සිටී. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය අත්‍යවශ්‍ය කරුණකි. ශ්‍රී ලංකාවේ බහුවිධ සංස්කෘතික චිත්‍රයක් පෙන්වන දූපත් සමාජයකි. අතීතයෙන් උරුම වූ පොහොසත් සහ හවුල් සංස්කෘතික උරුමයක් මඟින් ශ්‍රී ලංකාව පෝෂණය වේ. විවිධත්වය පිළිගැනීම හා වෙනස් කොට නොසැලකීම මඟින් තිරසාර සාමය සහ සහජීවනය සඳහා අනාගත මාර්ග සිතියම සකස් කර ගත හැක. බිම් මට්ටමේ මහජනතාවගේ සහාය මෙම ප්‍රයත්නයට අත්‍යවශ්‍ය ය. මෙම පූජනීය වගකීම නොසලකා හැරීම යනු දශක ගණනක් තිස්සේ අප අත්විඳින ලද සංහාරය ජාතික ඛේදවාචකයක් ලෙස  නැවත මතුවීමයි. එවිට අහිමි වූ අවස්ථාවන් ගැන පසුතැවිල්ල පමණක් ඉතිරි වනු ඇත.

හවුල් උරුමය බහුවිධ උත්ප්‍රේරකයක් ලෙසත් මිනිසුන්ට මිනිසුන් යා කිරීමේ  සම්බන්ධ වීමේ සහ ගැටුම් නිරාකරණයේ මෙවලමක් ලෙසත් වැදගත් ය. බහුත්වවාදයට ගරු කරන පුද්ගලයින් සහ රාජ්‍ය නායකයින් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මත බහුවිධ අනන්‍යතාව ආරක්ෂා වෙයි. මේ සඳහා ජනප්‍රිය සංස්කෘතියේ අවශ්‍යතා සීමාවෙන් ඔබ්බට උරුමය යළි නිර්වචනය කිරීම සඳහා සුසමාදර්ශී පියවරක් ගැනීම අවශ්‍ය වේ. පරිසරය, සංස්කෘතිය, අතීතයේ සහ අලුත් පරම්පරාවේ දැනුම අපි දැන් උරුමයේ අනිවාර්ය අංග ලෙස හඳුනාගනිමු. යුනෙස්කෝව විසින් නියම කරන ලද ගැටුම් නිරාකරණයේ වැදගත් අංගයක් ලෙස අධ්‍යාපනය මානවකරණය කිරීමේ අවශ්‍යතාවය ද අප හඳුනාගත යුතු ය.

අපගේ හවුල් උරුමයන් ප්‍රදර්ශනය කරනු ලබන නව බහු සංස්කෘතික කෞතුකාගාර නිර්මාණය, සංස්කෘතික සිතියම්ගත කිරීම, ජාතික භාෂා තුනෙන්ම ප්‍රකාශන නිකුත් කිරීම, පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් අවශ්‍ය වෙයි.

අද අපි ආක්‍රමණශීලී ගෝලීයකරණය විසින් මෙහෙයවනු ලබන දේශපාලන හැසිරීම් වල ගොදුරු බවට පත්ව සිටිමු. මෙයින් ලෝක ප්‍රජාව කිව නොහැකි තරම් දුක්ඛිත තත්ත්වයකට පත් කර ඇත. ජීවිත හා  දේපළ විනාශයන් පමණක් නොව සමාජයේ හා සදාචාරයේ ඉරිතලා යාම් ද බිඳ වැටීම් ද සිදුවෙමින් පවතියි. එවැනි විනාශකාරී වර්ධනයන්ට විකල්පයක් ලෙස තිරසාර පරිසරයක් තුළ සමාජ, ආර්ථික සහ සංස්කෘතික අන්තර් ක්‍රියා මානුෂීයකරණය කිරීම අත්‍යවශ්‍ය ය.

වර්තමානයේ මිනිසා විසින් ම නිර්මාණය කරන ලද ප්‍රතිවිරෝධතා නිසා ගැටුම් හා විනාශයන් තීව්‍ර වී තිබේ. සාමය හා සහජීවනය සඳහා වූ බුදුන් වහන්සේගේ විශ්වීය පණිවිඩය අනුව සියලු සත්ත්වයන් වෙත කරුණාව දැක්විය යුතු ය. විශ්වීය ආශිර්වාදයක් සමඟින් මගේ ඉදිරිපත් කිරීම අවසන් කිරීමට කැමැත්තෙමි.

දෙවො වස්සතු කාලෙන – සස්ස සම්පත්ති හේතු ච

පීතො භවතු ලොකෝ ච – රාජා භවතු ධම්මිකෝ

 [The writer was Director General of the Central Cultural Fund (2007 to 2010) & Senior Advisor (Culture) to the Ministry of Foreign Affairs].


[1] Humanism for Peace: A Buddhist Perspective

Professor of Archaeology, University of Peradeniya, and Cornell Visiting Professor, Swarthmore College, Pennsylvania, Sudharshan Seneviratne delivered a speech on ‘Humanism for Peace: A Buddhist Perspective’ at the Inter Faith Dialogue on International Peace, Harmony and Co-existence celebrating Vesak at the UN General Assembly on May 16.

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නයන්ගේ ආදාහනය සිදු කෙරුණ 2024. 01.19 දින මෙම අනුවාදය සැකසිණ. 2011 ට අදාල නමුත් අදට  අදාල නොවන වැකි කීපයක් අත්හළෙමි.- දයාසිසිර

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

ඔස්මන්ඩ් බෝපේආරච්චිනාණක විද්‍යාවේ හා පුරාවිද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද ශ්‍රාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා ජීවිතකාලයේ දී එක්වරක් පමණක් ලබාගත හැකි Sri Lanka Foundation International(SLF INT) සම්මානයෙන් පිදුම් ලැබීය.

ඔස්මන්ඩ් බෝපේආරච්චි ‌මෙහෙවර

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි මහතා තම ශ්‍රාස්ත්‍රීය ජීවිතයෙන් වැඩි කාලයක් මිඩංගු කළේ හා එතුමා ශ්‍රාස්ත්‍රීය ලෝකයේ දන්නා හදුන්නනේ ඉන්දු-ග්‍රීක සහ ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානිවල කාසි ප්‍රමිතිගත කිරීම පිළිබඳව හසල දැනුමක් ඇති ශ්‍රී ලාංකික ඉතිහාසඥයෙක් සහ නාණක විද්‍යාඥයෙක් ලෙසය. එතුමා තම පළමු ගෞරව උපාධිය ශ්‍රී ලංකාවේ කැළණිය විශ්විවිද්‍යාලයෙන් ද ඉන් අනතුරුව ශ්‍රාස්ත්‍රපති උපාධි (M.A., M.Phil) හා ආචාර්ය උපාධිය ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ද දිනාගත් අතර, එතුමාගේ උසස් ආචාර්ය උපාධිය අයත් වන්නේ ද ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ය.

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි විද්‍යාත්මක පර් යේෂණ  සඳහා වූ ප්‍රංශ ජාතික මධ්‍යස්ථානයේ (C.N.R.S.-E.N.S.) පර් යේෂණ  අධ්‍යක්ෂ, එමෙන්ම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මධ්‍යම හා දකුණු ආසියානු කලා, පුරාවිද්‍යාව සහ නාණක විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර් යවරයා මෙන්ම ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ආචාර් ය උපාධි සදහා වන පාසලේ සමාජිකයෙක් මෙන් ම මහාචාර් ය වරයෙකුද විය.

ශ්‍රාස්ත්‍රීය ලෝකය තුල ඔහු නාණක විද්‍යාඥයෙක්, කලා ඉතිහාසඥයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් ලෙස තම දැනුම පිටත සමාජය වෙත මුදා හැරීමට නිබදවම කටයුතු කළ විද්වතෙකි. ඔහු ශ්‍රාස්ත්‍රීය පොත් 14 ක කතුවරයෙක්, ප්‍රදර්ශන නාමාවලි 5 ක්; පොත් පරිවර්තන 2ක් ; වෙළුම් 6 ක සංස්කාරකත්වය; පර් යේෂණ ලිපි 145 ක කතෘත්වය; පෙරවදන් සැපයීම් 9ක්; පිළිගත් ජාත්‍යන්තර සඟරාවල පොත් සමාලෝචන 14ක් සහ දත්ත ගබඩා 2ක් මෙලෙස පිටත සමාජය වෙත දායාද කර ඇත. ඔහු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හමුවේ පර් යේෂණ පත්‍රිකා 93ක් ඉදිරිපත් කර ඇත. තවදුරටත් මහාචාර්ය බෝපේආරච්චි මහතා ලෝකයේ විවිධ අන්තවල නගර 65 ක සම්මන්ත්‍රණ 292 ක් සදහා තම බුද්ධිමය දායකත්වය නොමසුරුව ලබා දී ඇති අතර ලොව  රටවල් 29 ක පුරාවිද්‍යා මෙහෙයුම් සදහා සහභාගී වී ඇත.

එතුමා 2020 වර් ෂයේදී ග්‍රන්ථ තුනක් ප්‍රකාශයට පත් කළේය: ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ Roots of Sri Lankan Art නැමති ග්‍රන්ථය ද; Prof.Susmita Basu Majumdar හා සම-කතෘත්වයෙන් නිම වූ From Hindu Kush to Salt Range නම් ග්‍රන්ථයද, තුන්වනුව When West Met East: Gandhāran Art Revisted by Manohar, Delhi යන කෘති ත්‍රිත්වය එතුමාගේ නවතම පර් යේෂණ ග්‍රන්ථ ලෙස සැලකේ. මෙහි කියවූ තෙවැනි ග්‍රන්ථය සදහා ප්‍රංශ ඇකඩමිය විසින් ආරෝපණය කරන ලද කීර් තිමත් ” Ikuo ” Hiriyama Award සම්මානයයෙන් එතුමා පිදුම් ලැබීය. එම කෘතිය මගින් ජපානයේ, යුරෝපයේ, කැනඩාවේ කෞතුකාගාරවල සහ පෞද්ගලික එකතු කිරීම්වල විසිරී ඇති ගන්ධාර සම්ප්‍රදායට අයත් මෙතෙක් නොදන්නා විශිෂ්ට කලාකෘති පිළිබදව පර් යේෂණාත්මකව විමසා බැලිණි.

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි සතු දැනුම් සම්භාරය හා එතුමා විසින් ශ්‍රාස්ත්‍රීය ලෝකයට ලබාදුන් පන්නරය අගයනු වස් එතුමා විටින් විට ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත. ප්‍රංශ ශිලා ලේඛන ඇකඩමිය විසින් ඔහුගේ ග්‍රන්ථ පහකට වඩාත් ගෞරවනීය සම්මාන පිරිනැමූ අතර තවදුරටත් “George Perrot Medal” නම් කීර් තිමත් සම්මානය වඩාත් කැපී පෙනේ. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එතුමා අගයනු පිණිස, ප්‍රංශ රජය විසින් ” Order of Academic Palms ” සහ ග්‍රීක රජය විසින් ” Order of Constantine the Great” යන තනතුරට උසස් කරන ලදී.

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය හා archaeology.lk වෙබ් අඩවියෙන් මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චිට උණුසුම් සුභ පැතුම්.

සෙල්ලිපි කියවීම මුල සිට ඉගෙන ගැනීමට නව පාඨමාලාවක් 2022

සෙල්ලිපි කියවීම පිළිබඳ පාඨමාලාව

අප ආයතනයේ අධ්‍යාපනික කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් සෙල්ලිපි කියවීම පිළීබඳ උනන්දුවක් ඇති එය මුල සිටම ඉගෙන ගැනීමට රුචියක් දක්වන අය වෙනුවෙන් නවතම පාඨමාලාවක් සෙල් ලිපි පිළිබඳ ප්‍රමාණිකයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල හා බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරිගේ සම්පත්දායකත්වයෙන් 2022 ඔක්තෝබර් මස 17 දින ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

සෙල්ලිපි කියවීම
සෙල්ලිපි කියවීම

මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම සබැඳියාවට පිවිසෙන්න.

පාඨමාලව හදාරන සියලු දෙනාට Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Volume I පොත නොමිලේ ලබා දේ.

සෙල්ලිපි කියවීම පාඨමාලාව පිළිබඳ සංෂිප්ත කරුණු

මෙම පාඨමාලාව පිළිබඳ සංෂිප්ත කරුණු පහත දක්වා ඇත.

ශ්රී ලංකාවේ පුරා අක්ෂර හා අභිලේඛන පරිචය – පළමු වැනි පාඨමාලාව 2022
මාර්ගගත කෙටි කාලීන පාඨමාලාව
පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනය මඟින් සංවිධානය කරන නවතම මාර්ගගත කෙටි කාලීන පාඨමාලාව සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත. අයදුම්පත් භාර ගැනීම 2022 ඔක්තෝබර් මස 01 වන දින සිට 2022 ඔක්තෝබර් මස 14 වැනිදා දක්වා වේ. අදම ඔබගේ ආසනය දැන්ම වෙන් කර ගන්න.
සම්පත් දායකයින්
චන්දිම බණ්ඩාර අඹන්වල ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලය, මිහින්තලේ / අධ්යක්ෂ, පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනය
ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි කථිකාචාර්ය, බෞද්ධ හා පාළි විශ්වවිද්යාලය, හෝමාගම
වැඩි විස්තර සඳහා පිවිසෙන්න – https://www.iahs.lk/55xs
පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/= (අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 20% වට්ටමක් හිමි වේ.)
පාඨමාලව හදාරන සියලු දෙනාට Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Volume I පොත නොමිලේ ලබා දේ.
අයදුම්පත් භාර ගැනීම
2022 ඔක්තෝබර් මස 01 වන දින සිට 2022 ඔක්තෝබර් මස 14 වැනිදා දක්වා
පාඨමාලා ගාස්තුව ගෙවිම
2022 ඔක්තෝබර් මස 17 වන දින හෝ ඊට ප්රථම
පාඨමාලා ආරම්භය
2022 ඔක්තෝබර් මස 18
විස්තර සඳහා
දු.ක. අංකය – 0707899789
ඊමේල් ලිපිනය—sithani@iahs.lk

සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් සාහිත්‍යසූරි (D.Litt.) සම්මාණයෙන් පිදුම් ලබයි

2022 අගොස්තු මස 31 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වනු ලබු වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී මෙරට ප්‍රමුඛවිද්වතෙකු වන සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් විශ්වවිද්‍යාලයක් මඟින් පිරිනමනු ලබන ඉහළම සම්මාණ උපාධියක් වන සාහිත්‍ය සූරි (D.Litt./Doctor of Letters) සම්මාණයෙන් පුදනු ලැබීය.

සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන්
සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන්

1941 ජනවාරි 24 වැනි දින අනුරාධපුරයේ දී උපත ලැබූ එතුමා 1950-1959 කාලයේ දී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධයාපනය ලබා 1964 වසරේ දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි ගෞරව උපාධියත් 1971 වසරේ දී එක්සත් රාජධානියේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරි උපාධියත් ලබා ගන්නා ලදී. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කළ එතුමා එයින් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වි දේශිය හා විදේශිය විද්‍යාර්ථින් දසදහස් ගණනාවකගේ ආචාර්යවරයෙකු විය. පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිවරයෙකු (1994-1997) ද වන එතුමා නයිජීරියාවේ ඉලොරින් විශ්වවිද්‍යාලය (1977-1979), එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය (1987), ජපානයේ ත්සුකුබා (1997), ටෝකියෝ (2000), එක්සත් ජාතින්ගේ විශ්වවිද්‍යාලය (1999), කියෝතෝ (2007/2008) ආදි ලෝව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වී පර්යේෂණ කටයුතු සිදුකර ඇත. එංගලන්තය, ජපානය, ජර්මනිය, ස්විඩනය, නයිජීරියාව හා ඉන්දියාව වැනි රටවල විවිධ පර්යේෂණ ව්‍යාපෘති සඳහා ද දායකත්වය සපයා ඇති එතුමා ලෝක බැංකුව, USAID, NORAD (නෝර්වේ), GTZ (ජර්මන්) හා ස්වභාව ධර්මය සංරක්‍ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) වැනි විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ ද සමීප ලෙස කටයුතු සිදුකර ඇත.

සම්මාණිත මහාචාර්ය මද්දුම බණ්ඩාරයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ කටයුතු සඳහා ප්‍රමුඛ දායකත්වයක් ද සපයා ඇති අතර ඉඩම් කොමිසමේ සභාපති (1985-1989), ජාතික ජල මූලාශ්‍රය පිළිබඳ කොමිසමේ සභාපති (2004), ජාතික අධ්‍යාපන ආයතනයේ විද්වත් මණ්ඩලයේ සභාපති හා ජාතික පාරිසරික කවුන්සිලයේ සභාපති යන තනතුරු දරමින් දක්වන ලද දායකත්වය කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ ජාතික ජල ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂඥ කමිටුව සඳහා ද කැබිනට් මණ්ඩලය මඟින් පත් කරන ලද එතුමා 2021-2022 කාලයේ දී ඒ සඳහා තම විශේෂඥ දායකත්වය සපයා ඇත.

ක්‍ෂේත්‍ර ගණනාවක පර්යේෂණ සඳහා දායක වී ඇති මද්දුම බණ්ඩාරයන් ඒ අතුරින් පාරිසරික ගැටලු නිවාරණය, ඉඩම් ප්‍රතිපත්තිය හා ජලමූලාශ්‍රය පිළිබඳ විශේෂඥ පර්යේෂකයෙකු වූ අතර ජලාධාර කළමනාකරණය, වෙරළ කලාපීය සැලසුම්කරණය, කෘෂි ලිං සංවර්ධනය, පරසරය හා සංස්කෘතිය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව සඳහා මෙරට සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය යොදා ගැනීම වැනි ක්‍ෂේත්‍ර ආවරණය කරමින් ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇත. පසු කාලීනව ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා අවධානය යොමුකරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ එල්ලංගා පද්ධති පිළිබඳ සංකල්පය හඳූන්වා දීම (1985) සඳහා ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ විද්වතා වන මද්දුම බණ්ඩාරයන් මෙරට පළමු වැනි පාරිසරික ක්‍රියාකාරි සැලැස්ම සඳහා පදනම දැමූ විද්වතා ද වේ. ශ්‍රී ලංකාවේ ගංගා නිම්ණ පදනම් කරගත් පළාත් වෙන් කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් මහාචාර්ය මද්දුම බණ්ඩාරයන් වඩාත් අවධානයට පාත්‍ර වූ අතර එතුමාගේ පර්යේෂණාත්මක ලිපි සිය ගණනකින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සඟරා සාරවත් වී ඇත.

මෙරට ජල සම්පත් අරඹයා දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ‘ලංකා ජලනි’ ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇති මද්දුම බණ්ඩාරයන් සබරගමුව විශ්වවිද්‍යාලය මඟින් 2010 වසරේ දී විද්‍යාසූරි (D.Sc.)සම්මාණයෙන් පිදුම් ලැබූයේ මෙරට පර්යේෂණ හා උසස් අධයාපන ක්‍ෂේත්‍රයට දක්වන ලද අනෙඟි දායකත්වය හේතුවෙනි. ජාතික විද්‍යාභිවර්ධන සංගමයේ සම්මානණීය සාමාජිකයෙක් මෙන් ම එහි කමිටු සාමාජිකයෙකු ද වන මෙතුමා ලංඩන් භූගෝල විද්‍යා සංගමයේ සම්මානණීය සාමාජිකයෙකු ද වේ.

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

  1. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ‘ පරමත්ථ‘ අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

ශ්‍රී ලාංකික පුස්කොළ පොත්
මුල් පිටුව

මෙලෙස බ්‍රිතාන්‍ය පුස්තකාලය සතු සිංහල පිලිගොනු එකතුව මුද්‍රිත පොත් 2,100කට අධික වන අතර, තවදුරටත් කඩදාසි, තල් පත්‍ර සහ තඹ තහඩු ඇතුළු විශාල පරාසයක අත්පිටපත් 2,400කට අධික ප්‍රමාණයකින් පොහොසත් සහ විවිධත්වයෙන් යුක්තය. විශේෂයෙන් මෙම හියු නෙවිල් කෞතුකාගාර එකතුව 17 වන සහ 19 වන සියවස් අතර කාලසීමාවට අයත් ලෙස පිළිගැනෙන අතර, එහි තල් පත්‍ර අත්පිටපත්, පාලි භාෂාවෙන් රචිත සාධාර්මික බෞද්ධ සාහිත්‍යය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, ජනශ්‍රැතිය, මැජික්, විශ්ව සම්භවය පිළිබද විද්‍යාව, ආයුර්වේදය, තාරකා විද්‍යාව හා ප්‍රතිමා විද්‍යාව දක්වා වූ පුළුල් පරාසයක ප්‍රභේද සහ විෂයයන් ආවරණය කරන වටිනා මෙන්ම පැරණි අත්පිටපත් රාශියකින් සමන්විත වේ.
ඒ සැම අත්පිටපතක්ම සංස්කෘත භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද පරිවර්තනය වී තිබීම විශේෂ කරුණකි.  බ්‍රිතාන්‍ය පුස්තකාලයේ මෙම අත්පිටපත් එකතුව, ශ්‍රී ලංකාවෙන් පිටත පවතින වැදගත්ම ශ්‍රී ලාංකික අත්පිටපත් එකතුවක් බවට පත් වීමට තවත් එක් නොවැළැක්විය හැකි හේතුවක් ලෙස, ලංකාවට අදාලව ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක සංරක්ෂණය කර නොමැති සම්භාව්‍ය ශ්‍රී ලාංකික ජනකකතා සාහිත්‍යයේ හොඳ නියෝජනයක් දැක්වෙන බොහෝ පැරණි පුස්කොළපොත් එහි අන්තර්ගත වීම දැක්විය හැකි ය.
එවන් වටිනාකමක් ගැබ් වූ බ්‍රිතාන්‍ය පුස්තකාලය විසින් ප්‍රවේශ කරන්නා වූ ‘ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ’ මූලික අරමුණ වන්නේ බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පැවති ශ්‍රී ලාංකික පුස්කොළ අත්පිටපත් එකතුවේ කොටසක් වන පුස්කොළ අත්පිටපත් හතරක පින්තූර ඩිජිටල්කරණය කර බ්‍රිතාන්‍ය පුස්තකාලයේ වෙබ් අඩවියට ලබා දී ඒ හරහා පර්යේෂණ කටයුතු දිරිමත් කිරීම ය. එලෙස ඩිජිටල්කරණය වූ අත්පිටපත් ශ්‍රී ලාංකික සිංහල ථෙරවාදී බෞද්ධ ප්‍රජාවට මෙන් ම ඒ පිළිබද ව උනන්දුවක් දක්වන විද්වත් පාඨකාගාරය වෙත ලං කරනුයේ සංස්කෘතික, ඓතිහාසික හා ආගමික වූ වටිනාකමකි.
ඒ අනුව පරමත්ථ සංවිධානයේ නොමසුරු මූල්‍යමය දායකත්වය හා  බ්‍රිතාන්‍යයේ ථෙරවාද බුදුදහම සදහා වන අන්තර්ජාතික මධ්‍යස්ථානයේ බුද්ධිමය දායකත්වය තුළින්, 2021 වර්ෂයේ ජුනි මාසය වන විට මෙම නියමු ව්‍යාපෘතියේ අත්පිටපත් සංරක්ෂණය, රූපකරණය, නාමාවලි නිර්මාණය සහ මාර්ගගත ඉදිරිපත් කිරීම යන පියවර සම්පූර්ණ කිරීමට හැකි විය. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල වඩාත් සවිස්තරාත්මකව හා ප්‍රවේශ වීමේ පහසුව උපරිම අන්දමින් තහවුරු කරමින්, නාමාවලි වාර්තා හතරක් සහ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ අත්පිටපත් නොමිලේ පහත සබැදීන් හරහා කියවා ගත හැකිය. ඒවා පහත සදහන් පරිදි වේ.

ඩිජිටල්කරණය කල ශ්‍රී ලාංකික පුස්කොළ පොත්

  • අත්පිටපත 1 – දීඝනිකාය Dighanikaya
  • අත්පිටපත 2 – මජ්ඣිමනිකාය  Majjhimanikaya
  • අත්පිටපත 3 – මහාවංස පාලි  Mahavamsa
  • අත්පිටපත 4 – මහාවංස පාලි  Mahavamsa

ව්‍යාපෘතියේ අදාල වෙබ්පිටුවේ අතුරුමුහුණත් කීපයක් පහත දැක්වේ.

 

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වර්තමාන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා මිහිමත පූර්ණ වශයෙන් පරිණාමය වීම දළ වශයෙන් අදින් වසර 200,000-300,000 ක් පමණ ගත වූ වෙහෙසකර ව්‍යායාමයකි. මුල් කාලීනව පරිසරයේ වූ ඝන තන්තුමය ආහාර හා සත්ත්ව මළකුණු පරිභෝජනය කරමින් ඔවුන් චිරාත් කාලයක් නොනැසී පැවතිණි. නමුත්, ඉච්ඡානුගව ශාක තමන්ගේ ආත්මාර්ථකාමී පරිභෝජනය උදෙසා වගා කළේ යැයි ආදිමය සාක්ෂි කිසිවක් හමු නොවන්නේ, එකල මුල් කෘෂිකර්මය සදහා අවශ්‍ය වන බුද්ධිමය පරිචය වෙත ඔවුන් ළගා නොවූ නිසා බවට කෙනෙකුට තර්ක කළ හැකි ය. නමුත් නවශිලා යුගය නියෝජනය කරන සියුම් හා උසස් තාකෂණයෙන් යුත් ශිලා මෙවලම් සෑදීමට තරම් වූ පාරිසරික, සංජනනාත්මක හා සංස්කෘතික සංවර්ධනය හා කෘෂිකර්මාන්තයේ උදාව සමපාත වීම තුළින් එම තර්කය සර්වසාධාරණ බවද කෙනෙකුට සිතිය හැකි ය. කෙසේ වෙතත්, දළ වශයෙන් වසර 15,000-20,000 කට පෙර, අපගේ මුතුන් මිත්තන් කෘෂිකර්මාන්තය තිබූ බවට අපට සාක්ෂි නොමැත. ඒ වෙනුවට, ඔවුන් දැඩි ලෙස දඩයම් කළ හෝ ආහාර සොයා ගිය බව අප නිසැකවම දන්නා කරුණයි. එහි වූ සරලත්වය පසෙක ලූ විට ඔවුන් අබියස වූ ප්‍රශ්නාර්ථය වූයේ, ඔවුන්ගේ ඊළඟ ආහාර වේල දක්වා කොපමණ දිනක් ගත වේද යන්න කිසිවකු නිශ්චිතව නොදැන සිටීමයි. විශේෂයෙන් එම අවිනිශ්චිතතාවයේ ගිනිදැල් කාලයාගේ ඇවෑමෙන් තීව්‍ර වූ දේශගුණික විපර්යාස හමුවේ බුර බුරා නැගිණි. ඔවුන් ආහාර සොයා නොගත්තේ නම්, ඔවුන් හෝ ඔවුන්ගේ පවුල් සාගින්නෙන් පෙළෙනු ඇත. දිනෙක ආහාර උදෙසා සැතපුම් ගණන් ගමන් කළ ද, අවසානයේ ආහාරයට කිසිවක් හමු නොවූ දිනගණන් ද ගෙවෙන්නට ඇත. මෙසේ බොහෝ පූර්ව කෘෂිකාර්මික සමාජ සඳහා, ඔවුන්ගේ ශක්තියෙන් කොටසක් වැඩි ශක්තියක් එදිනෙදා ආහාර උදෙසා වැයකිරීම හැර අන් විකල්පයක් ඔවුන්ට නොවීය.

අනෙක් අතට, සැවානා හෝ වැසිවනාන්තර පරිසරයක දී මරාගැනීමට සතුන් හෝ මරාදැමුණු සත්ත්ව මළකුණු සුලභ නොවන්නේ, එකී පරිසර පද්ධති තුළ සතුන් හා මානවයා සහයෝගීව ජීවත් වූ නිසාවෙනි. එනම්, එක් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක මිනිසුන් විශාල සංඛ්‍යාවක් අතරේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සමානව බෙදී යාම අපේක්ෂා කළ නොහැකි ය. ඒ් පිළිබද පර්යේෂණ සිදුකළ විද්වතුන්ගේ දළ ඇස්තමේන්තුව වන්නේ නිවර්තන වැසි වනාන්තර වැනි ජීවයෙන් සශ්‍රීක ස්ථාන, ඉහළ ඝනත්වයකට සහාය විය හැකිය යන උපකල්පිතයේ පිහිටා, දඩයම්කරුවන් 100 දෙනෙකුගෙන් යුත් ගෝත්‍රයකට වර්ග කිලෝමීටර් 50 සිට 500 දක්වා වූ භූගෝලීය සීමාවක් අවශ්‍ය වනු ඇත යන්නය. තවදුරටත් දඩයම්කිරීම හා ආහාර එකතු කිරීම මගින් කුඩා ජනගහනයක් උදෙසා පමණක් මිහිතලය මත පහසුකම් සැලසුණු අතර, අදින් වසර 10,000කට පෙරදී සිටි ජනගහනය මිලියන 6 සිට 10 දක්වා ඇස්තුමේන්තුගත අගයක් ගැනීම තුළින් නිසැකවම, වෙනත් ආහාර ප්‍රභවයක් උදෙසා ආදි මානවයා දිරිමත් කෙරිණි.

මෙලෙස අදින් වසර 12,000 කට පමණ පෙර මුල් බැසගත් කෘෂිකර්මාන්තය සමාජයේ සහ මිනිසුන් ජීවත් වූ ආකාරයෙහි පැහැදිලි වෙනසක් ඇති කළ අතර එහි ක්‍රමානුකූල වර්ධනය “නව ශිලා විප්ලවය” ලෙස හැදින්වේ. මානවයාගේ පරිණාමයේ සිට අනුගමනය කරන ලද සාම්ප්‍රදායික දඩයම්-එකතු කරන්නන්ගේ ජීවන රටාව, ස්ථිර ජනාවාස සහ විශ්වාසනීය ආහාර සැපයුම තුළින් ක්‍රමයෙන් ගිලිහී ගියේ ය. කෘෂිකර්මාන්තයෙන්, නගර සහ ශිෂ්ටාචාර වර්ධනය වූ අතර, ඉල්ලුමට සරිලන පරිදි භෝග සහ සතුන් වගා කළ හැකි නිසා, වසර 10,000 කට පෙර මිලියන පහක පමණ වූ ගෝලීය ජනගහනය වර්තමානයේ බිලියන හතකට වඩා වැඩි වීමේ පළමු පියවර ලෙස ද නවශිලා විප්ලවය අර්ථ දැක්විය හැකි ය. විශේෂයෙන් ම මුල් කෘෂිකාර්මික ජනාවාස හා ස්ථිරවාසීතාවය කරණ කොටගෙන, මානවයා ලද විවේක සුවය විවිධ විනෝදාංශ හා නව අත්හදාබැලීම් සිදුකිරීමට හේතුප්‍රත්‍යය විය.

නමුත්, ලෝකයේ විවිධ ප්‍රදේශවල ගොවිතැන් කිරීමට මිනිසුන් පෙළඹවූ තනි සාධකයක් හෝ සාධකවල එකතුවක් පිළිබද ඒකගතාවක් වර්තමානයේ දීත් හදුනාගැනීම අසීරු ය. නිදසුනක් වශයෙන්, පෙරදිග කලාපයේ, පසුගිය අයිස් යුගයේ අවසානයේ ඇති වූ දේශගුණික විපර්යාසයන් ධාන්‍ය වර්ග වැනි වාර්ෂික ශාක සඳහා අනුග්‍රහය දක්වන සෘතුමය තත්ත්ව පැවති බව විශ්වාස කෙරේ. නැඟෙනහිර ආසියාව වැනි ප්‍රදේශවල ස්වභාවික ආහාර සම්පත් මත පීඩනය වැඩිවීම නිසා විකල්ප විසඳුම් සෙවීමට මිනිසුන්ට සිදු වූවා විය හැකිය.

මුල් කෘෂිකර්මය: සම්භවය

කිසිවිටෙකත් කෘෂිකර්මයේ නැගීම හුදකලා, සරල හෝ ක්ෂණික ඇරඹුමක් වූයේ නැත. ඉතිහාසයේ විවිධ කාලවලදී විවිධ භුගෝලීය කලාප ඇසුරේ විවිධ ශාක එකිනෙකට ස්වාධින ක්‍රියාවලියක් ලෙස ගෘහාශ්‍රිතකරණය කර ඇත. මීට වසර 10,000 සිට 15,000 දක්වා කාලයකට පෙර, මිනිසුන් ස්වභාවධර්මය ඇසුරේ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා හැඩගස්වා ගැනීමට පටන් ගත් අතර කෘෂිකර්මාන්තය පෘථිවිය වටා විවිධ ස්ථානවලින් මතු විය. එය ස්වාධීනව මතු වූ අතර මෙසපොතේමියාව, චීනය, දකුණු ඇමරිකාව සහ උප සහරා අප්‍රිකාව වැනි විවිධ ස්ථාන වලින් ව්‍යාප්ත වූ බව විද්වත් මතයයි. කෘෂිකර්මාන්තයේ උපත බොහෝ විට නව ශිලා විප්ලවය ලෙස හඳුන්වනු ලබන්නේ එය නව ශිලා යුගයට සමපාත වන බැවිනි. නව ශිලා යුගයට එම නම ලැබී ඇත්තේ පැලියොලිතික් යුගයට හෝ මධ්‍යශිලා යුගයට වඩා ශිලාමෙවලම් වඩාත් සිනිඳු හා පිරිපහදු කළ බැවිනි. මෙම මෙවලම් බොහොමයක් මුල් කෘෂිකර්මාන්තයට පහසුකම් සලසා ඇත. එමෙන් ම නවශිලා යුගයට අයත් ලෙස සැලකෙන ශිලාමෙවලම් බොහෝමයක්, රළු පොළොව සමග ඝට්ටනය වීමට තරම් දැඩි බවකින් යුක්ත වීම, මානවයාට පොළොව කොටා පස පෙරලා කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමට සානුබල ලබාදුනි.

රූපය 1- ක්‍රි.පූ.5 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.පූ. 4 වැනි සියවස දක්වා අයිබීරියානු ජනාවාසයක් ලෙස සැලකෙන ඇල්කසස්හි බැස්ටිඩා (Bastida of Alcusses) හි හමු වූ මුල් කෘෂිකර්මයට අදාල මෙවලම් (උපුටාගැනීම- Wikimedia Commons)
රූපය 1- ක්‍රි.පූ.5 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.පූ. 4 වැනි සියවස දක්වා අයිබීරියානු ජනාවාසයක් ලෙස සැලකෙන ඇල්කසස්හි බැස්ටිඩා (Bastida of Alcusses) හි හමු වූ මුල් කෘෂිකර්මයට අදාල මෙවලම් (උපුටාගැනීම- Wikimedia Commons)

ශාක හා සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම ඔවුන්ගේ බාහිර ස්වරූපයෙන් මෙන්ම ජානමය වෙනස්කම් ඇති කළේය; ජීවියෙකු වනරූපී හෝ ගෘහාශ්‍රිත වූවෙක් ද නැති ද යන්න තීරණය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම එවැනි බාහිර හෝ ජානමය වෙනස්කම් පැවතීම හෝ නොපැවතීම පදනම් කරගෙන ය. එවැනි සාක්ෂි මත පදනම්ව, දඩයම් කිරීම සහ එක්රැස් කිරීමේ සිට කෘෂිකර්මාන්තය දක්වා වූ පැරණිතම සංක්‍රමණයන්ගෙන් පළමුවැන්න ලෙස නිරිතදිග ආසියාවේ අදින් වසර 14,500 ත් 12,000 ත් අතර කාලසීමාවක් ලෙස හඳුනාගෙන ඇත. පුරාශිලා යුගයේ අවසානයේ සිට මුල් පශ්චාත් ග්ලැසියර කාලය දක්වා වාසය කළ සහ ඔවුන්ගේ පූර්වගාමීන්ට වඩා කුඩා ශිලාමෙවලම් (ක්ෂුද්‍ර ශිලාමෙවලම්) භාවිතා කළ අභිපුරාශිලා (Epipalaeolithic) යුගයට අයත්  ජනයා ලෙස හැඳින්වෙන කණ්ඩායම් විසින් එය ක්‍රියාත්මක කරන ලදී. ලෙවන්ට් හි පිහිටි අභිපුරාශිලා සංස්කෘතියක් වන නටුෆියන්වරු (Natufian) සතුව ශිලාමය දෑකැත්ත තිබූ අතර කැළෑ බාර්ලි (Hordeum spontaneum) වැනි බොහෝ ශාක බහුලව ලෙස එකතු කරන ලදී. නැඟෙනහිර සශ්‍රීක චන්ද්‍රවංකයේ (Fertile Crescent), ගැසල් (Gazella species) සහ වල් එළුවන් සහ බැටළුවන් දඩයම් කළ අභිපුරාශිලා ජනයා, පශු සම්පත් ලෙස එළුවන් සහ බැටළුවන් ඇති කිරීමට පටන් ගත් නමුත් ගැසල් සතුන් ඒලෙස හීලෑ නොකළේ ය. මේ අනුව අදින් වසර 12,000- 11,000 පමණ වන විට බොහෝ ශාකවල ගෘහාශ්‍රිතකරණය කරන ලද ආකෘති දිස් වූ අතර, අදින් වසර 10,000 පමණ වන විට ගෘහාශ්‍රිතකරණය කරන ලද සතුන් ලොව විවිධ ප්‍රදේශවල පෙනී සිටියේ ය. පැරණි ලෝකයේ වෙනත් තැන්වල පැරණිතම කෘෂිකර්මාන්තය පිළිබඳ පුරාවිද්‍යාත්මක වාර්තාව අප්‍රසිද්ධ නමුත් අදින් වසර 8500-8000 වනවිට මෙනේරි (Setaria italica සහ Panicum miliaceum) සහ සහල් (Oryza sativa) නැගෙනහිර ආසියාවේ ගෘහාශ්‍රිතකරණයට ලක් වී තිබිණි. අමරිකානු මහද්වීපය සැලකූ විට, ස්කොෂ් (Cucurbita pepo සහ C. moschata) ගෘහාශ්‍රිත ස්වරූපයෙන් දකුණු මෙක්සිකෝවේ සහ උතුරු පේරු හි අදින් වසර 10,000-9000 පමණ දක්වා කාලයේ දී ස්ථාපිත විය. ඉන්පසුව අදින් වසර 5000-3000 පමණ වන විට නැගෙනහිර උතුරු ඇමරිකාවේ සහ නිරිතදිග එක්සත් ජනපදය බවට පත්වන ආදිවාසී ජනතාව කෘෂිකර්මාන්තයට යොමු වෙමින් සිටියහ. සාරාංශයක් ලෙස, ශාක හා සත්ත්ව හීලෑ කිරීම සහ එබැවින් කෘෂිකර්මාන්තය විවිධ ස්ථානවල සිදු කරන ලදී, ඒ සෑම එකක්ම අනෙකාගෙන් ස්වාධීන විය.

රූපය 2- මුල් කෘෂිකාර්මික මධ්‍යස්ථානවල පැතිරීම
රූපය 2- මුල් කෘෂිකාර්මික මධ්‍යස්ථානවල පැතිරීම

දඩයම් කිරීම හා ආහාර එකතු කිරීමට සිදුවූයේ කුමක් ද?

ව්‍යුහ විද්‍යාත්මකව නූතන මානවයා අදින් වසර 45 000- 50 000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටව යන තෙක්, ආහාර රැස් කිරීම හෝ ආහාර සෙවීම අවසාන ග්ලැසියර යුගයේ අවසානය දක්වා එනම් ආසන්න වශයෙන් අදින් වසර 12 000ක් පමණ වන තෙක් ඔවුන්ගේ සංස්කෘතියේ ආධිපත්‍යය දැරීය. මෙකී දඩයම්කරුවන් හා අන්න ගවේෂකයින් බහුල සමාජයක සාමාජිකයින් ක්‍රියාශීලී ජීවන රටාවන් සහ විවිධ මස් සහ ශාක නිෂ්පාදන වලින් ලබාගත් පුළුල් පරාසයක ප්‍රෝටීන, මේද සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු විවිධ ආහාර වලින් ප්‍රතිලාභ ලැබූ බව ඔවුන්ගේ අස්ථි අවශේෂ ආශ්‍රයෙන් සනාථ වී ඇත. තවදුරටත් ඔවුන් හෝමෝ ගණයේ සංස්කෘතික පරිණාමයට අනන්‍ය වූ ආහාර සෙවීම, දඩයම් කිරීම සහ ආහාර සැකසීම හා සම්බන්ධ සම්පත් සහ මෙවලම් තාක්ෂණයන් ද බෙදා ගත්හ. කෙසේ වෙතත්, මෙම පුද්ගලයින්ම ආහාර ගබඩා කිරීමට නොහැකි වීම, දඩයම් කිරීමේ අන්තරායන් සහ නව ආහාර ප්‍රභවයන්ට අනුවර්තනය වීමේ අවශ්‍යතාවයට හේතු වන සෘතුමය වෙනස්කම් වලින් පීඩා විදින ලදී. මේ අනුව අදින් වසර 4500 සිට 12 000ක අතර කාලයේ දී ලොව එකිනෙකට ස්වාධීන ප්‍රදේශ කීපයක කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් ආහාර සුරක්ෂිතතාවය හා ආහාර සෙවීම හා සම්බන්ධ අවදානම සහ අවිනිශ්චිතතාවය අවම කරගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

බොහෝ දඩයම් කරන්නන් මුලින් මිශ්‍ර ආර්ථිකයන් අනුගමනය කළ අතර එමඟින් ඔවුන්ගේ දඩයම්-එකතු කිරීමේ ජීවන රටාවට ඇතැම් භෝග හෝ පශු සම්පත් එකතු කළහ. කෘෂිකර්මාන්තයට සංක්‍රමණය වීමට ප්‍රධාන සාධක කිහිපයක් බලපාන්නට ඇත. මෙම ප්‍රගතිය ආහාර නිෂ්පාදනයේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය වූ අතර ගොවිතැනට පහසු සංක්‍රමණයක් ඇති කළේය. එම කරුණු පහත පරිදි වේ,

  • සම්පත් (වන ශාක විශේෂ, සත්ව ගොදුරු) අඩු වීමත් සමඟ දඩයම් කිරීම සහ එකතු කිරීම ආර්ථික වශයෙන් අඩු ප්‍රතිලාභයක් බවට පත් විය.
  • අවසාන ග්ලැසියර කාලයේ දී දේශගුණික විපර්යාස හේතුවෙන් ශාක හා සතුන් නව පරිසරයකට සංක්‍රමණය වීම.
  • ආහාර සපයන්නන් විසින් ශාක බීජ එකතු කිරීම, ආහාර සැකසීම සහ ගබඩා කිරීමේ තාක්ෂණයන් දියුණු කිරීම.
  • ද්‍රව්‍යමය සම්පත් ඒකරාශී කිරීම (මෙවලම් හා ආහාර), දරුවන් ඇතිදැඩි කිරීම යන කරුණු සංචාරක ජීවන රටාවක් වෙනුවට ස්ථිරවාසීතාවය දිරිමත් කිරීම.

කෘෂිකර්මාන්තය ලෝක ව්‍යාප්ත යැපුම් ක්‍රමය වන නමුත්, තවමත් ප්‍රජාවන් කිහිපයක් ආහාර සොයා ගැනීම පදනම් කරගත් ආර්ථිකයක් රඳවා ගැනීමට කටයුතු කර ඇත. මෙම කණ්ඩායම් දුෂ්කර කාලවලට සූදානම් වීම සඳහා ආහාර ගබඩා කිරීම සහ අවට ආහාර සොයා ගන්නා කණ්ඩායම් සමඟ ඥාති සබඳතා ඇති කිරීම මගින් අවිනිශ්චිතතාවයේ අවදානම අවම කරගැනීමට කටයුතු කර ඇත. මේ සදහා උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ නැමීබියාව යන ප්‍රදේශවල ජීවත්වන කලහාරි හි සැන් ජනතාව දැක්විය හැකි ය. මෙම දුෂ්කර භූගෝලීය ප්‍රදේශ තුළ, සැන් ගෝත්‍රික මිනිසුන් වනසතුන් දඩයම් කිරීමෙන් සහ විවිධ මුල් සහ අල එකතු කිරීමෙන් වර්තමානය දක්වාම නොනැසී පැවත ඒ. කෙසේ වෙතත්, මෑතකදී මෙම කණ්ඩායම්වල ආර්ථික පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ ඔවුන්ට අයත් පාරම්පරික භූමි ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන්, හා ගොවිබිම් ආක්‍රමණය හේතුවෙනි.

කෘෂිකර්මාන්තයේ මූලාරම්භය පිළිබඳ න්‍යායේ වර්ධනය

මානව විශේෂයක් ලෙස අපගේ පැවැත්මෙන් 95% කට වඩා වැඩි ප්‍රමාණයක මූලික යැපුම් උපාය මාර්ගය වූයේ දඩයම් කිරීම සහ රැස් කිරීම ය. වගා කරන ලද ආහාර නිෂ්පාදනයට වඩා මැනවින් හිතකර ලෙස පෙනෙන මෙම සාර්ථක උපාය මාර්ගය අත්හැරීමට මිනිසුන් පෙලඹවූයේ කුමන සාධකය ද? එය ඒකපාර්ශවීය විය නොහැකි ය, බොහෝවිය බහුපාර්ශවීය කරුණු සම්පිණ්ඩනයෙන් මානවයා එතැනට යොමු කළා විය හැකි ය. එනම්, ස්වාභාවික (දේශගුණික විපර්යාස, වන සත්තව විශේෂ හිඟකම සහ ඒවා ආරක්ෂා කිරීමට දරන උත්සාහය, වැඩිවන ජන ඝනත්වය) හෝ සංස්කෘතික (දරුවන් ඇති දැඩි කිරීම සඳහා කැමැත්තක් දැක්නීවම, ආහාර එක්රැස් කිරීම, සමුච්චය කිරීම හරහා ගොඩනැංවෙන සමාජ බලය වෙත ආකර්ෂණය වීම) යන සාධක කිහිපයක් විද්වතුන් විසින් යෝජනා කර ඇත. මේ සදහා දායක වන සාධක කුමක් වුවත්, ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු වූ අතර, මුලදී යැපුම් මාර්ග දෙක ද්විත්ව උපාය මාර්ගයක් ලෙස (සමහර හුදකලා මානව කණ්ඩායම්වල තවමත් අඩුවැඩි වශයෙන් පවතී) භාවිතයේ පවත්වා ගෙන යන ලදී.

ගෘහාශ්‍රිතකරණය යනු මානව කෘෂිකාර්මික නිකේතනවලට අනුවර්තනය වීම සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලියක් ලෙසත්, එම ක්‍රියාවලියේ යම් අවස්ථාවක දී කැපී පෙනන ලෙස මානව මැදිහත්වීමක් දර්ශනය වන ක්‍රියාකාරකමක් ලෙසත් අර්ථ දැක්වේ. ගෘහස්ථකරණය හඳුනාගැනීමේ නිර්ණායක ශාක හා සතුන් සඳහා සැලකිය යුතු ලෙස වෙනස් වේ. මෙකී තෝරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ශාකවලට ඉතා ඉක්මනින් වෙනස් රූප විද්‍යාත්මක වෙනස්කම් පෙන්විය හැකි අතර, ප්‍රජනන කාලය වැඩි වීම නිසා සතුන් එවැනි වර්ධනයන් ඉදිරිපත් කිරීමේදී ඉතා මන්දගාමී වේ. ශාක ගෘහාශ්‍රිතකරණය සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි පැමිණෙන්නේ ශාක රූප විද්‍යාව, බීජ හැඩය, බීජ ප්‍රමාණය, පරාග ව්‍යුහය සහ ශාක සැකසීමට භාවිතා කරන මෙවලම්වල වෙනස්වීම් මගිනි. බොහෝ අවස්ථාවන්හීදී, ශාක ගෘහාශ්‍රිතකරණය සඳහා සාක්ෂි පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි වන අතර, ගෘහාශ්‍රිත විශේෂ පැහැදිලිවම ඔවුන්ගේ මුල් වනගහනයන්ගෙන් වෙනස් වේ. ගෘහාශ්‍රිතකරණයේදී සිදු වූ බොහෝ වෙනස්කම් චර්යාත්මක වන අතර රූප විද්‍යාත්මක නොවන බැවින් සත්ව හීලෑ කිරීම සඳහා සාක්ෂි තහවුරු කිරීම වඩා දුෂ්කර ය. කෙසේ වෙතත්, දිගු කලක් තෝරාගත් අභිජනනයෙන් පසුව, සතුන් ගෘහාශ්‍රිතකරණයට අදාළ අස්ථි වෙනස්වීම් පෙන්විය හැකිය.

කෘෂිකාර්මික යැපුම් සංවර්ධනය පිටුපස ඇති මානව සංජනනය විද්වතුන් විසින් බොහෝ කලක් තිස්සේ පර්යේෂණ පවත්වා ඒවා පිළිබද විදග්ධ වාදවිවාද ගොඩනගා ඇත. ප්‍රධාන න්‍යායන් දෙකක් ලෙස දේශගුණික විපර්යාස සහ ජන ඝනත්වය වැඩි වීම බොහෝ දුරට සාධාරණ හේතූන් ලෙස ගිණිය හැකි ය. මානවයාගේ සංස්කෘතික සංවර්ධනයට දේශගුණික විපර්යාසවල බලපෑම් වසර ගණනාවක් තිස්සේ විවාදයට භාජනය වී ඇති මාතෘකාවකි; කෙසේ වෙතත්, මානවයාගේ කෘෂිකාර්මික සංක්‍රාන්තිය පිළිබඳ වඩාත්ම පිළිගත් පැහැදිලි කිරීම නම්, වඩාත් ස්ථාවර දේශගුණයක් ගොවිතැනේ මූලාරම්භයට පහසුකම් සැලසූ බවයි. මීට අමතරව, දේශගුණික විපර්යාස සහ මිනිසුන් දඩයම් කිරීම ආහාර ප්‍රභවයක් ලෙස භාවිතා කරන ලද වනසතුන් වඳ වී යාමට හේතු වන්නට ඇත. මෑතකාලීනව සිදුවී ඇති විද්‍යාත්මක අධ්‍යයන පෙන්වා දී ඇත්තේ මීට වසර 12 000 කට පමණ පෙර දකුණු ඇමරිකාවේ වනසතුන් වඳවීම්, මානව පැවැත්ම හා දේශගුණික උෂ්ණත්වය ඉහළ යාම සමග සමපාත වූ බවයි.

පුරාවිද්‍යාඥයින් සහ පුරාශාකවිද්‍යාඥයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ මුල් කෘෂිකාර්මික ජනාවාස පිළිබද කතිකාවත හා න්‍යායන් සහ කෘෂිකර්මාන්තයේ මූලාරම්භය පිළිබද දැනුම් පද්ධතිය සැලකියයුතු ආකාරයෙන් වර්ධනය වී ඇත. එනම්, පුරාවිද්‍යාඥයින් සංඛ්‍යාව වැඩි වීම, කැණීම් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති අතර ඒ හරහා අනාවරණය කරගත් තොරතුරු අනුව කෘෂිකර්මාන්තයේ මූලාරම්භය සඳහා යෝජිත මධ්‍යස්ථාන සංඛ්‍යාව කාලයෙන් කාලයට වෙනස් විය. උදාහරණයක් ලෙස වර්ෂ 1971 වන විට සොයාගෙන තිබුණේ කෘෂිකාර්මික මූලාරම්භක මධ්‍යස්ථාන 3 ක් පමණක් වූ අතර, 2010 වන විට එම සංඛ්‍යාව අවම වශයෙන් කෘෂිකාර්මික මූලාරම්භක මධ්‍යස්ථාන 24 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව නිරායාසයෙන් මෙම කෘෂිකාර්මික මූලාරම්භක මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි වන විට, ඒවාට අදාල කාලානුක්‍රමය සහ ගෘහාශ්‍රිත කරන ලද වන විශේෂවල අනන්‍යතාවය පිළිබඳ විවාදය තවත් දළු ලා වැඩෙන්නට විය. කෙසේවෙතත් වර්තමානය දක්වාම නොවෙස්වී ආ මතය වන්නේ ශාක හා සතුන් ගෘහාශ්‍රිතකරණය අතීත මිනිසුන්ගේ ජීවන රටාවේ මූලික වෙනසක් ඇති කළත් එය ඉතා මන්දගාමී ක්‍රියාවලියක් බවයි. උදාහරණයක් ලෙස චීනයේ දී ගෘහාශ්‍රිතකරණය කරන්නට ඇතැයි සොයාගෙන ඇති වී, එම ගෘහාශ්‍රිතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සදහා අවම වශයෙන් වසර 3000ක කාලයක් ගත් බව මෑතකදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ තුළින් තහවුරු වී ඇත.

දඩයමේ සිට ශාක හා සතුන් ගෘහාශ්‍රිතකරණය දක්වා සිදු වූ සංක්‍රමණය විප්ලවයක් ලෙස හැඳින්වුවද, එම සංක්‍රාන්තිය වේගයෙන් සිදු නොවූ අතර ආර්ථිකයේ, දේශපාලනයේ, ජනගහන ප්‍රමාණය වැඩිවීම වැනි ක්ෂණික වෙනස්කම් ඇති නොවූ බවට සාක්ෂි පැහැදිලිව දැක්විය හැකි ය. මීට අමතරව, මෙම අවසාන වෙනස්කම් විවිධ ස්ථානවල සහ විවිධ සංස්කෘතීන් අතර එකම වේගයකින් හෝ වේලාවකින් සිදු නොවුණු බව ද විශ්වාසයෙන් යුතුව පැවසිය හැකි ය.

මුල් කෘෂිකාර්මික බිම්

බොහෝ පර්යේෂකයින්ගේ අදහස් වන්නේ කෘෂිකාර්මික විප්ලවය අවම වශයෙන් ලොව පුරා විවිධ ස්ථාන 11 ක දී, එකිනෙකට වෙනස් කාල පරිච්ඡේද දෙකක් සමඟ ස්වාධීනව වර්ධනය වූ බවයි: ඉන් පළමුවැන්න ලෙස අදින් වසර 12 000- 9000 කට පෙර හොලොසීන අවධියේ හා  (අවසාන අයිස් යුගයේ සිට කාලය) දෙවැනන ලෙස අදින් වසර 7000-4000 අතර මැද හොලොසීන අවධිය ගත හැකි ය. වසර 12000 කට පමණ පෙර, පැලියොලිතික් යුගය අවසන් වී හොලොසීන යුගය ආරම්භ විය. මුල් පැලියොලිතික යුගයේදී, දඩයම්කරුවන් ශාක වගා කිරීමට උත්සාහ කර ඇතත්, ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූයේ ආන්තික සහ වේගවත් දේශගුණික විචලනයන් විසින් උරුම කර දෙනලද කටුක දේශගුණික තත්ත්ව නිසාවෙනි. හොලොසීන යුගය ආරම්භ වීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යාම, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම සහ පරිසර පද්ධති නැවත සකස් කිරීම සිදු වියෙන් ගොවිතැනට සුදුසු උණුසුම් පරිසරයක් නිර්මාණය විය. එනම් ක්‍රමයෙන් උණුසුම් වූ හොලොසීන‍ෙය් වූ කාබන්ඩයොක්සයිඩ් බහුල පරිසරය ගොවීන්ට අවශ්‍ය බෝග සාර්ථකව වගා කිරීමට ඉඩ සලසා දිණි.

රූපය 3- කෘෂිකාර්මික බිම් ලෝකය පුරා ව්‍යාප්ත වීම
රූපය 3- කෘෂිකාර්මික බිම් ලෝකය පුරා ව්‍යාප්ත වීම

කෘෂිකාර්මික භාවිතය පිළිබද ව වූ තවත් න්‍යාය කිහිපයක් ද විද්‍යාඥයින් විසින් යෝජනා කර ඇත. ඒ අනුව කෘෂිකර්මාන්තයේ දියුණුව පැහැදිලි කරන එක් පුලුල් උපකල්පනයක් නම්, වැඩිවන ජන ඝනත්වය සහ සීමිත ආහාර සම්පත් ප්‍රජාවන් වෙනත් ආහාර නිෂ්පාදන ක්‍රම ගවේෂණය කිරීමට හේතු වූ බවයි. තවත් න්‍යායක් මගින් යෝජනා කරන්නේ ආහාර සුරක්ෂිතතාවය සදහා සානුබල සැපයූ වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ ආශාව විසින් ද අතීත මානවයා වැඩිවශයෙන් ශාක ගෘහාශ්‍රිතකරණයට යොමුකරන්නට ඇති බවයි. කෘෂිකර්මාන්තයේ ආරම්භය සඳහා දේශගුණික විපර්යාස බොහෝ විට ප්‍රධාන උත්ප්‍රේරකයක් විය. මධ්‍යස්ථ උෂ්ණත්වය සහ දේශගුණික ස්ථායීතාවය ගොවිතැන ආරම්භ කිරීමට පහසුකම් සපයන තත්ත්ව නිර්මාණය කළේය. මේ අනුව ආහාර නිෂ්පාදනය විසින් ජනගහන වැඩිවීමක් සහ ඊට සමගාමී ව නගර සංවර්ධනය ද සිදුවිය. කෙසේ වෙතත්, ජනගහනය වැඩිවීම කෘෂිකර්මාන්තයේ අවශ්‍යතාවයට හේතු වූයේද නැතහොත් කෘෂිකර්මාන්තය විශාල ජනගහනයක් ඇති කළේද යන්න තවමත් විවාදාත්මක ය.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ
  7. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 7: නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම
  8. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 8: නූතන මානවයා නවලොව ජනාවාසකරණය කිරීම  
  9. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වැඩිදුර කියවීම්

  • Lee R, Daly R. The Cambridge encyclopedia of hunters and gatherers. Cambridge, UK: Cambridge University Press; 1999. 1–22.
  • Lieberman D. The story of the human body: evolution, health, and disease. Pantheon Books; 2013. 67–298.
  • Smith B. The emergence of agriculture. New York: Scientific American Library; 1995. 1–208.
  • Rindos D. The origins of agriculture: an evolutionary perspective. Orlando: Academic Press; 1984. 1–285.
  • Barnard A. Anthropology and the Bushman. Oxford: Berg; 2007. 4–7.
  • Campbell BG, et al. Humankind emerging. 9th ed. Boston, MA: Pearson; 2006. 443–4.
  • Diamond J. Guns, germs, and steel: the fates of human societies. W. W. Norton & Company; 2005. 83–292.
  • Conner SE, Kvavadza EV. Modelling late quaternary changes in plant distribution, vegetation and using pollen data from Georgia, Caucasus. J Biogeogr 2009;36: 529–45.
  • Byrd BF. Reassessing the emergence of village life in the Near East. J Arch Res 2005;13:231–90.
  • Metcalf J, et al. Synergistic roles of climate warming and human occupation in Patagonian megafaunal extinctions during the Last Deglaciation. Sci Adv 2016;23-35.

 

 

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 8: නූතන මානවයා නවලොව ජනාවාසකරණය කිරීම

නැගෙනහිර අප්‍රිකාවේ දී පරිණාමය වූ නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවී යන්නේ අදින් වසර 150, 000කට පමණ පෙර අවධියේ ය. මෙම සංක්‍රමණය වාර දෙක තුනකදී වෙනස් කණ්ඩායම් මඟින් සිදුකළ බවට විද්වතුන් මත පළ කර ඇත. ඒ සඳහා ශිලා මෙවලම්, මානව ෆොසිල, මාතෘසංචිත ජාන (mtDNA) හා Y-Chromosome සාධක උපයෝගී කරගැනිණි. අප්‍රිකාවෙන් පිටවී යාමේ න්‍යායේ තත්වය මෙය වුවද, ඊට පරිබාහිරව ගොඩනැගී ඇති තවත් මානව ජනාවාසකරණය පිළිබඳ විද්‍යාත්මක අකෘතීන් සලකා බැලීමේ දී මානවයාගේ බහුප්‍රාදේශීය පරිණාමය (Multiregional Hypothesis: Human Evolutionary Theory) පිළිබඳ කතිකාවත වැදගත් වේ. මෙම බහුප්‍රාදේශීය පරිණාමය වීමේ මතයේ දී එලෙස වාර දෙක තුනකදී පිට වී යාම අවශ්‍ය නොවූ අතර, එක් වරක් පමණක් අප්‍රිකාවෙන් පිටවූ මානවයා ලොව විවිධ ප්‍රාදේශීය කලාපවල විවිධ කාලගුණික හා දේශගුණ තත්ත්ව යටතේ දීර්ඝකාලීනව හුදකලා වීම හේතුවෙන් එකිනෙකට වෙනස් මානව විශේෂ බවට පරිවර්තනය වී ඇති බව ඉදිරිපත් කෙරේ. ඒ අනුව පැහැදිලි වන්නේ පළමු මානව විශේෂය බිහි වූයේ වසර මිලියන දෙකකට පමණ ඉහතදී වන බවත් ඉන්පසුව සිදුවුණු පරිණාමය එම තනි මානව විශේෂයේ පසුකාලීන පරිවර්තන බව ය. එහි දී අප්‍රිකානු යුරෝපීය ආසියානු හා ඕස්ට්‍රේලියානු භූගෝලීය ප්‍රදේශ මානවයින් පරිණාමය වූ කේන්ද්‍ර ලෙස සලකන බැවින් මෙම න්‍යාය සඳහා බහුකේන්ද්‍රීය පරිණාමවාදය හෙවත් polycentric evolution ලෙස ද හැඳින්වේ (Thoma, 1973). මේ සඳහා ප්‍රබල පුරාවිද්‍යාත්මක සාධක හමුවූ ස්ථානයක් ලෙස දකුණු ග්‍රීසියේ අපිඩිමා ගුහාව දැක්විය හැකි අතර, එහි දී අනාවරණය කරගන්නා ලද මිනිස් හිස්කබල් දෙකකින් පළමුවන හිස්කබලින් අදින් වසර 17, 000ක් හා දෙවන හිස් කබලින් 210, 000ක කාලනිර්ණ ලබාගෙන ඇත. ඒ අනුව පළමුවන හිස්කබලින් නියැන්ඩතාල් මිනිසුන්ගේ කායච්ඡේද විද්‍යාත්මක ලක්ෂණ හුරුවක් හා දෙවන හිස්කබලින් නූතන මානවයාගේ ප්‍රාථමික කායච්ඡේද විද්‍යාත්මක ලක්ෂණ ප්‍රකට වේ. තවදුරටත් එමඟින් ජනගහන දෙකකට අයත් නූතන මානවයින් එම පුරාක්ෂේත්‍රය පරිහරණය කර ඇති බවට පර්යේෂකයින් පෙන්වා දෙන්නේ අප්‍රිකාවෙන් වාර කීපයකදී නූතන මානවයා පිටවූ බවට වන න්‍යාය ශක්තිමත් කරමිනි (Harvati et al., 2019).

රූපය 1 - බහුකේන්ද්‍රීය පරිණාමවාදයට අදාල හෝමෝ සේපියන්වරුන්ගේ ජාන බෙදීයාමේ සටහන (උපුටා ගැනීම Thoma 1973)
රූපය 1 – බහුකේන්ද්‍රීය පරිණාමවාදයට අදාල හෝමෝ සේපියන්වරුන්ගේ ජාන බෙදීයාමේ සටහන (උපුටා ගැනීම Thoma 1973)

නවලොව ජනාවාසකරණය සදහා මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම

නවලොව ජනාවාස කිරීමට පෙර මානවයා අප්‍රිකාවෙන් පිට වී යන්නේ අප්‍රිකාවේ ඊසාන පෙදෙසේ වූ රතු මුහුදු මුවදොරට ඉහළින් අරාබියට හා දකුණු ආසියාවට ය. එය අදින් වසර 50, 000 (Mellars, 2006) හෝ 70, 000කට ඉහත දීය. බුල්බෙක් ප්‍රකාශ කරන්නේ නූතන මානවයා අප්‍රිකාවේ සිට ඉන්දියන් සාගරයේ උතුරුතීරය ඔස්සේ නැගෙනහිර දෙසට සංක්‍රමණය වීම අදින් වසර 75, 000ක් තරම් අතීතයකට ඇද දැමිය හැකි බවයි (Bulbeck, 2007). මෙම පර්යේෂණවලින් ලද ප්‍රතිඵල අනුව අප්‍රිකාවෙන් නික්මුණු මානවයා ඉතා සීඝ්‍රව වෙරළ තීරය ඔස්සේ දකුණු ආසියාවට ගිණිකොණදිග ආසියාවට, ඉන්දුනීසියාවට, මැලේසියාවට හා අනතුරුව අන්දමන් දූපත් කරා පැමිණියේ අවම වශයෙන් අදින් වසර 55, 000කට පෙර වුවද එය අදින් වසර 60, 000- 65, 000ක් දකවා වුවද විය හැකි බව විද්වතුන්ගේ එකඟතාවයි. නමුත් 2017 වසරේ දී මොරොක්කෝවේ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් අනාවරණය වී ඇත්තේ කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා අදින් වසර 315, 000කට ඉහත දී මොරොක්කෝවේ වාසය කර ඇති බවය (Hublin et al., 2017).

ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව ඕස්ට්‍රේලියාව හා අමරිකානු ප්‍රදේශය හෙවත් නව ලෝකය ජනාවාස වන්නේ තරමක් ප්‍රමාදව ය. එනම් එම ප්‍රදේශ බොහෝවිට මෑතකාලීන ප්ලයිස්ටොසීනයේ දී ජනාවාසකරණය වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවේ. දළ වශයෙන් ඕස්ට්‍රේලියාව අදින් වසර 60, 000 -50, 000කට පෙර හා අමරිකාව ගත්විට එහි මානව ජනාවාසකරණය අදින් වසර 22, 000 -16, 500 දක්වා ඉතාම මෑතකාලීන ප්ලයිස්ටොසීන අවධියට අයත් වේ.

ඕස්ට්‍රේලියානු මහද්වීපය ජනාවාසකරණය

ඕස්ට්‍රේලියාවත් ඒ අසල පිහිටි නිව්ගිනියාව හා ඒ ආශ්‍රිත දූපත්වලටත් නූතන මානවයාගේ පැතිරිම පිළිබඳව නොයෙක් මතවාද හා විවිදාපන්න කාරණා ශාස්ත්‍රීය ලෝකයේ නිරීක්ෂණය කළ හැකි ය. කෙසේ නමුත් ගිණිකොණදිග ආසියාව අදින් වසර 40,000ක් වන විට කායච්ඡේද විද්‍යාත්මකව නවීන මානවයා පදිංචි වී සිටි බව බෝනියෝ සරවක් හි නියා ගුහාවෙන් හමුවන මානව හිස්කබලෙන් සනාථ වේ (Barker et al., 2002). ඕස්ට්‍රේලියානු මහද්වීපය හා ආසන්න දූපත් ජනාවාසකරණයේ දී එහි භූගෝලීය පිහිටීම වැදගත් වේ. මීට වසර මිලියන 30කට ඉහතදී ඕස්ට්‍රේලියාව හා ආසියාව ගොඩබිම් දෙකක් ලෙස වෙන් වීම සිදුවිය. ආසියානු හා ඕස්ට්‍රේලියානු භූස්කන්ධ දෙක පහත සඳහන් පරිදි නිර්වචනය කළ හැකි ය. එනම්, සුන්දා ගොඩබිම් ස්කන්ධය (Sundaland) යනු මුහුදු මටට්ම් පහළ ගිය අවධියක දී ඉන්දුනීසියානු දූපත් හා බෝනියෝ දූපත් එක් වීමෙන් සෑදුණු අඛණ්ඩ භූස්කන්ධයයි. සාහුල් ගොඩබිම් ස්කන්ධය (Sahulland) යනු මුහුදු මටට්ම් පහළ ගිය අවධියක දී වර්තමාන ඕස්ට්‍රේලියානු දූපත් හා නිව්ගිනියානු දූපත් එක් වීමෙන් සෑදුණු අඛණ්ඩ භූස්කන්ධයයි. මෙම භූ ස්කන්ධ දෙක වෙන් වන්නේ අවම තරමින් අඩි 1000ක්වත් ගැඹුරු වොලස් සමුද්‍ර සන්ධියෙනි (Wallace Line). මුහුදු මට්ටම් එහි උපරිම අගය දක්වා පහළ බැස ගියද මෙම භූස්කන්ධ දෙපයින් තරණය කිරීම සිදුකළ නොහැකි ය. එනම් වර්තමානයේ දී පවා සැතපුම් 5කට ආසන්න ගැඹුරකින් යුක්ත ය. එය ප්ලයිටොසීනයේ දී පවා වෙන්ව පැවති බවට භූවිද්‍යා සාධක මඟින් අනාවරණය කරගත හැකි ය. ඕස්ට්‍රේලියානු මහාද්වීපයට නිව්ගිනියාව සහ ටස්මේනියාව එක් වූ ග්ලැසියර කාල පරිච්ඡේදයේදී මිනිසුන් මුහුදු මාර්ගයෙන් පැමිණි බව විද්වත් අදහසයි. එහි මහාද්වීපික වෙරළ තීරය ටිමෝර් මුහුද දක්වා බොහෝ දුරට විහිදී ගිය අතර, එය අරෆුරා මුහුද, කාපෙන්ටාරියා බොක්ක (Gulf of Carpentaria) සහ ටොරස් සමුද්‍ර සන්ධිය හරහා පුළුල් ගොඩබිම් පාලමක් මගින් සම්බන්ධ විය.

රූපය 1- සුන්දා ගොඩබිම් ස්කන්ධය හා සාහුල් ගොඩබිම් ස්කන්ධය (උපුටා ගැනීම Wikipedia ඇසුරෙනි)
රූපය 2- සුන්දා ගොඩබිම් ස්කන්ධය හා සාහුල් ගොඩබිම් ස්කන්ධය (උපුටා ගැනීම Wikipedia ඇසුරෙනි)

ගිණිකොණදිග ආසියාවේ සිට මහා ඕස්ට්‍රේලියානු භූස්කන්ධය දක්වා ගමන් කළ හැකි මුහුදු මාර්ග දෙකක් පිළිබඳව මේවන විට විද්වතුන් අතර යම් පිළිගැනීමක් ඇත. එයින් පළමුවැන්න බෝනියෝ දූපතේ නැගෙනහිර වෙරළින් ආරම්භ වී කුඩා දූපත් හරහා සුලවසි දූපත් තරණය කර කිලෝමීටර් 70ක් පමණ දුරගෙවාගෙන නිව්ගිනියාවට ළඟාවීමය. දෙවැන්න ජාවා දූපතෙන් ආරම්භ වී ටිමෝරය හරහා මහා ඕස්ට්‍රේලියානු භූස්කන්ධයේ වයඹදිග වෙරළට ළඟාවිය හැක. මෙය පහසුම මග ලෙස සැලකේ. මේ පිළිබඳව කෙරුණු වැඩිදුර පර්යේෂණවලින් දකුණු වොලස් සමුද්‍රසන්දියේ සිට වයඹ දිග ඕස්ට්‍රේලියාවට පිවිසීමේ හැකියාව තහවුරු කර ඇත. ඒ අනුව වර්තමානයේ වැඩිවශයෙන් ජලයෙන් යටවී ඇති නමුත් අදින්වසර 70,000- 100,000කට පෙර පැවති වාසය කළ හැකි දූපත් සමූහයක් පැවති බවත් ඒවා ටිමෝර් වෙරළට කිලෝමීටර් 87ක් දුරින් පැවති බව තහවුරු වේ. වැඩිදුරටත් මෙම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ටිමෝර් සිට මෙම දූපත්වලට ළඟාවීමට හැකියාව අඩු බවත් මෝසම්කාලයකදී දින 4-7ක මුහුදු ගමනකින් පමණක් ඊට ළඟාවීමට හැකියාව ඇති බවත් ය. ජානවිද්‍යාත්මක දත්ත අනුව පුද්ගලයින් 72-100 ක් අතර වූ පුද්ගලින් ප්‍රමාණයකින් වයඹදිග ඕස්ට්‍රේලියාව ජනාවාසකරණය සිදුවී ඇති බව නිගමනය කර ඇත (Bird et al., 2018).

ස්කොට් කේන් විසින් වර්ෂ 2013 දී ප්‍රකාශ කරන්නේ ඕස්ට්‍රේලියානු මහද්වීපය ජනාවාස කිරීමේ පළමු රැල්ල ටෝබා ගිනිකන්ද පුපුරා යාමනිසා ඇති වූ සංසිද්ධීන් නිසා සිදුවන්නට ඇති බවත්, එය අදින් වසර 70,000කට පෙර සිදුවූයේ නම් ඒ කාලයේ දී මුහුදු මට්ටම පහළ යා හැකි බවත් ටිමෝර් දූපත හරහා මහා ඕස්ට්‍රේලියානු භූස්කන්ධය වෙත ප්‍රවේශ වියහැකි බවත් ය (Scott, 2013). නමුත් ඔවුන් අදින් වසර 50,000කට පෙර පැමිණියේ නම් මොලුක්කාස් දූපත් හරහා නිව්ගිනියාවට ලඟා වීමේ හැකියාව නිශ්චිත ය. නමුත් පසුගිය වසර 15,000ක කාලය තුළ මීටර් 50ක් පමණ භූස්කන්ධය ජලයෙන් යටවී ඇති හෙයින් නිශ්චිතව පැවසිය නොහැක (Scott, 2013).

කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව හා නිව්ගිනියානු දූපත් ජනාවාසකරණය වන්නේ මෑතකාලීන ප්ලයිස්ටොසීනයේ දී ය. එහි විද්‍යාත්මකව තහවුරු කරන ලද කාලනිර්ණය වන්නේ අදින්වසර 40,000ය. එම ජනාවාස කිරීම ද එකිනෙකට වෙනස් ජනගහණ දෙකක් විසින් වාර දෙකකදී සිදු කරනලද බවට ජීවවිද්‍යාත්මක සාධක මඟින් තහවුරු වී ඇත (Pagani et al., 2016). එනම් එහි පළමු ගණය ජාවා දූපතෙන් පැමිණි ඉරෙක්ටස් ජාන සමඟ ඥාති සබඳතා දක්වන මිනිසුන් කොට්ඨාසයක් ලෙස සැලකෙන අතර, දෙවැනි ගහණය බොහෝවිට චීනයෙන් පැමිණි පිරිසක් බවත් මතය වේ (Malaspinas et al., 2016; Mallick et al., 2016; Pettitt, 2005). නමුත් එය ජානවිද්‍යාත්මකව තහවුරු වුවද විලෙන්ද්‍රා විල (Willandra Lake) හා කව් වගුර (Kow Swamp) යන ප්‍රදේශවලින් හමුවී ඇති ආදිතම මානව ෆොසිල තුළින් එම වෙනස්කම් නාමකරණවිද්‍යානුකූලව (Taxonomically) හඳුනාගත නොහැකි ය.

රූපය 2 - Willandra Lake කැණීම්වලින් මතුකරගෙන ඇති මානව ෆොසිල (උපුටා ගැනීම Science Magazine ඇසුරෙනි)
රූපය 3 – Willandra Lake කැණීම්වලින් මතුකරගෙන ඇති මානව ෆොසිල (උපුටා ගැනීම Science Magazine ඇසුරෙනි)

1970 දශකයේදී කැණීම් කරන ලද තස්මේනියාවේ හා නිව්ගිනියාවේ පුරාක්ෂේත්‍ර තුළින් ඕස්ට්‍රේලියානු කලාපය ජනාවාසකරණය වීමේ නිශ්චිත දිනය ලෙස අදින් වසර 40,000 ප්‍රකාශයට පත්කර තිබේ. මහද්වීපික ඕස්ට්‍රේලියාව තුළ මෙම දිනයට පසුකාලීන කාලනිර්ණ දරන බොහෝ පුරාක්ෂේත්‍ර විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. නමුත් මුන්ගෝ විල (Lake Mungo) හා මලකුනන්ජා (Malakunanja) යන පුරාක්ෂේත්‍ර ඊටවඩා වැඩි කාලනිර්ණ දරයි. නව්වලබිලා ගුහාවෙන් ද අදින් වසර 50,000කට කාලනිර්ණය කර ඇති මානව සාධක හමුවී ඇත. එහිදී ගින්දර පාලනය කල බවට අඟු රුහා අළු අඩංගු ස්තරවලින් සනාථවේ. ගල් ආයුධ, ඊ හිස් හා සත්ත්ව අස්ථි හා මුහුදු බෙල්ලන්, ගුරුගල් පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් අනාවරණය කරගෙන ඇත. මෑතකාලීනව උතුරු ඕස්ට්‍රේලියාවේ Madjedbebe හි සිදු කරන ලද කැණීම් මඟින් ඇඹරුම්ගල්, ගුරුගල්, හා පරාවර්තක ආකලන (reflective additives) හා පොරෝ තල (hatchet heads) වැනි ශිලා මෙවලම් ඇතුළත් ස්තරය අදින් වසර 65,000ක් දක්වා කාලනිර්ණය කර ඇත (Clarkson et al., 2017; Gibbons, 2017). අමතරව රොබර්ට්ස් විසින් 1990 දී උතුරු ඕස්ට්‍රේලියාවේ මානව ජනාවාසකරණය පිළිබඳ සාධක අදින් වසර 50,000 දක්වා අයත්වන බව තාපසන්දීප්තතා කාලනිර්ණ තුළින් තහවුරු කර ඇත (Roberts et al., 1990).

රූපය 3- Mungo Man ලෙස හදුන්වන මානව ෆොසිලය (උපුටා ගැනීම Science Magazine ඇසුරෙනි)
රූපය 4- Mungo Man ලෙස හදුන්වන මානව ෆොසිලය (උපුටා ගැනීම Science Magazine ඇසුරෙනි)

ප්‍රාග්ඓතිහාසික මිනිසුන් ඕස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළට පැමිණ ඇත්තේ අදින්වසර 30,000කට පමණ පෙර සිටය. එහි පරමට්ටා හා පෙන්රිත් වන පුරාවිද්‍යා ස්ථානවල සිදුකරන ලද කැණීම්තුළින් අනාවරණය කරගනෙ ඇත්තේ අඟුරු ස්ථර, ගල් ආයුධ හා ගින්දර පාලනය කළ ස්ථාන ය. පෙන්රිත් ස්ථානයේ බොරළු තැන්පතු අදින්වසර 45,000 සිට 50,000 දක්වා කාලනිර්ණය සිදුකර ඇත. බටහිර ඕස්ට්‍රේලියාවේ ස්වාන් නදි නිම්නයේ මානව ජනාවාසකරණය අදින් වසර 40,000ක් දක්වා දිවෙයි (Pearce & Barbetti, 1981). ගිනිකොණදිග ඕස්ට්‍රේලියාවේ ගින්දර පාලනය කිරීම් සම්බන්ධ ක්‍රියාකාරකම් අදින් වසර 120,000ක් දක්වා කාලයට අයත් බවට මත පල වී ඇත. මෙය මානව ක්‍රියාකාරකම් නියෝජනය කරන්නක් බවට මතපල වී ඇති අතර ඒ සඳහා වන සාක්ෂි දැඩි ලෙස අභියෝගයට ලක් වී ඇත. මීට අමතරව බටහිර ඕස්ට්‍රේලියාවේ රොට්නස්ට් දූපතේ තිබූ හමුවූ කහඳ හා කැල්ක්‍රේට් පතුරු ආයුධ අදින් වසර 50,000ක් දක්වා කාලනිර්ණය සිදුකර ඇත (Hesp et al., 1999). මෙම සාක්ෂිය අප්‍රිකානු හා වෙනත් ඕස්ට්‍රේලියානු ආදිවාසී මාතෘසංචිත ජාන (mtDNA) හා Y-Chromosome සමඟ සසඳා සිදුකරන ලද පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

ඩෙවිල්ස් ලෙයාර් ගුහාව බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තිරයට කිලෝමීටර් 5ක් ආසන්නව පිහිටි පුරාවිද්‍යා භූමියකි. ඒ තුළ උඳුන් භාවිතයට අදාල සාක්ෂි, අස්ථි හා ශිලා මෙවලම් නිරීක්ෂණය කල හැකි ය. අදින් වසර 50,000කට පෙර කාලයේ නිරිතදිග වෙරළ කලාපයේ අතීත මිනිසුන් වාසය කළ බවට මෙමඟින් සාක්ෂි සපයයි. එය ලංකාවේ ෆාහියන් ලෙනට සමාන කාලනිර්ණ දක්වන අතර, අදින් වසර 19,000 සිට 12,700 දක්වා කාලනිර්ණය කරන ලද ආභරණ භාවිතය පිළිබඳ සාක්ෂි ඇත. එම අස්ථි මෙවලම් මාසුපිල් සතුන්ගේ ගාත්‍රා අස්ථි කුඩා කොටස්වලට කඩා රළුමතුපිටක් මත ඇතිල්ලීමෙන් නිෂ්පාදනය කර ඇත. මෙම පුරා වස්තු ඕස්ට්‍රේලියාවේ සංකේතාත්මක මානව හැසිරීම් පිළිබඳ පැරණිතම සාක්ෂි ලෙස ගිණිය හැකි ය (Turney et al., 2001). ඕස්ට්‍රේලියානු ජෛව විවිධත්වය හා උරුමය පිළිබඳ විශිෂ්ටතා පිළිබඳ ඕස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලයේ පර්යේෂකයන් විසින් 2021 දී කරන ලද අධ්‍යයනයකින් ඕස්ට්‍රේලියානු මහාද්වීපය හරහා දකුණු තස්මේනියාව වෙත ගමන් කළ හැකි සංක්‍රමණික මාර්ග සිතියම් ගත කර ඇත. ප්‍රධාන භූමිය ඇතුළත් මෙම ආකෘති නිර්මාණය පදනම් වී ඇත්තේ පුරාවිද්‍යාඥයින්, මානව විද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින්, ජාන විද්‍යාඥයින්, දේශගුණ විද්‍යාඥයින්, භූ විද්‍යාඥයින් සහ ජල විද්‍යාඥයින්ගේ දත්ත මත වන අතර, ආකෘති නිර්මාණය ඇත්තේ පුරාවෘත්ත ඇතුළු ආදිවාසී ජනයාගේ වාචික ඉතිහාසය හා ඕස්ට්‍රේලියානු පර්වත සිතුවම් කලාව සහ භාෂාමය විද්‍යාව සමඟ සංසන්දනය කරමින් ය (Crabtree et al., 2021) .

ඕස්ට්‍රේලියාව ජානාවාසකරණය කිරීමේ සංවාදයේ දී වැදගත්ම සිදුවීම වන්නේ මුන්ගෝ පුරාවිද්‍යා ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමුවූ මානව අස්ථි සැකිලි ය. එහි ගැහැණු සැකිල්ල ද්විතීයික භුමිදාන ක්‍රමවලට අයත් වන අතර කාලනිර්ණය අදින් වසර 25000 දක්වා දිවේ (Bowler et al., 2003). නවතම අධ්‍යනවලින් එය අදින් වසර 40,000ක් දකවා පසුපසට දිවේ (Bowler et al. 1972). මෙම සැකිල්ල ඕස්ට්‍රේලියාවේ අදිතම භුමදානය ලෙස අවිවාදිතය. පිරිමි සැකිල්ල 1974 පෙබරවාර් 26වන දින ආචාර්ය බෝලර් විසින් කැණීම්කරන ලදී. දේහය රතු ගුරුගල් ආලේප කර තිබූ අතර එවැනි අභිචාර අවස්ථාවක් අනාවරණය වු ප්‍රථම අවස්ථාව මෙයයි. අක්ෂී උද්දීප්තතා හා තාපසන්දීප්තතා කාලනිර්ණය අනුව මෙම ලේක් මුන්ගෝ පුරාක්ෂේත්‍රය අදින් වසර 60,000ක් දක්වා කාලනිර්ණය කර ඇත. මිනිස් සැකිල්ල අදින් වසර 50,000කට කාලනිර්ණය කර ඇති අතර ක්ෂේත්‍රය අවට වැලිවැටි ආශ්‍රයෙන් ඉපැරණි ගල්ආයුධ හමුවී ඇත (Bowler et al., 2003; Bowler & Magee, 2000).

විවිධ වසරවල දී හමු වූ පුරාකෘතීන් මඟින් ඕස්ට්‍රේලියාව ජනාවාස වූ කාලය විවාදයට භාජනය වේ. එය අවුරුදු හැට දහසකට හෝ ඊට වැඩි කාලයකදී ජනාවාස වී ඇත්නම්, සියලු ශිෂ්ඨ සම්පන්න සමාජ අප්‍රිකාවෙන් ආරම්භ වූ බවට අප දැනටමත් දන්නා න්‍යායේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ දැනුම අභියෝගයට ලක්කරන්නක් වෙයි. කෙසේ වෙතත්, මුන්ගෝ පුරාක්ෂේත්‍රයෙන් සොයාගත් මානව අස්ථි අවශේෂ අයත් අතීත මිනිසුන් මඟින් ඕස්ට්‍රේලියාව ජනාවාස වී ඇත්තේ වසර 50,000 කට පෙර නම්, මානවයා අප්‍රිකාවෙන් පිටවී යාමේ න්‍යාය වඩාත් ශක්තිමත් ලෙස ගොඩනැගිය හැකි ය.

රූපය 4 - ඕස්ට්‍රේලියාවේ වෙරළාසන්නව හමුවන මානව ජනාවාසකරණය ට අදාල මානව අවශේෂ හමුවන පුරා ක්ෂේත්‍ර හා ඒ්වායේ කාලනිර් ණ (උපුටා ගැනීම - https://digital-classroom.nma.gov.au/)
රූපය 5 – ඕස්ට්‍රේලියාවේ වෙරළාසන්නව හමුවන මානව ජනාවාසකරණය ට අදාල මානව අවශේෂ හමුවන පුරා ක්ෂේත්‍ර හා ඒ්වායේ කාලනිර්ණ (උපුටා ගැනීම – https://digital-classroom.nma.gov.au/)

අමරිකා මහද්වීපය ජනාවාසකරණය 

ඕස්ට්‍රේලියාව මෙන්ම අමරිකාව ජනාවාසකරණය වීම ද මෑතකාලීන ප්ලයිස්ටොසීනයේ දී සිදුවූ බව විද්වතුන් අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. අමරිකානු ජනාවාසකරණය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ සිදුකරන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ තනි සයිබීරියානු කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානව ගහනයක් බෙරිං ගොඩබිම් තීරුවෙන් උතුරු අමරිකානු කලාපයට ඇතුළු වූ බවය (Goebel et al., 2008). මෙම සංක්‍රමණය අදින් වසර 30,000කට ඉහත දී සිදු වූ බව ජානවිද්‍යාත්මක සාධක මඟින් තවදුරටත් පෙන්වා දී ඇත. එම සංක්‍රමණයේ නිශ්චිත කාලනිර්ණය ලෙස අදින් වසර 22,000ක කාලනිර්ණයක් ඉහත පර්යේෂකයින් පිරිස පෙනවා දී තිබේ. එය තවදුරටත් අදින් වසර 16,500කට අනුමාන කෙරේ. උතුරු හා දකුණු අමරිකානු පුරාවිද්‍යාත්මක සාධක මත ලැබී ඇති කාලවකවානු සලකා බැලීමේ දී සනාථ වන්නේ නූතන මානවයාගේ අමරිකානු සංක්‍රමණය අදින් වසර 15,000කට පෙර සිදුවී ඇති බව ය.

කෙසේවෙතත් පළමු අමරිකානු ජනපදවාසීන් ක්ලෝවිස් මෙවලම් සම්ප්‍රදායේ ආරම්භකරුවන් ලෙස පිළිගැනේ. නමුත් මෙම ක්ලෝවිස් මෙවලම් පුරාක්ෂේත්‍රවලින් හමුවීමට පෙර සිටි මිනිසුන් පිළිබඳ තොරතුරු ද අමකාරිවේ විවිධ ප්‍රදේශවලින් අනාවරණය වන බැවින් ඒ පිළිබඳ විද්වත් සංවාදය වඩාත් උණුසුම් ලෙස වර්තමානයේ දී ද වඩාත් තාර්කිකව ගොඩනැංවේ (Waters & Stafford, 2007). නූතන මානවයා අමරිකාවට ඇතුළු වීමට භාවිත කළ මාර්ග දෙකක් පිළිබඳ ව තොරතුරු සඳහන් ය (Waguespack, 2007).ඒ අනුව ප්ලයිස්ටොසීනයේ මුහුදු මට්ටම්පහළ ගිය අවධියක උතුරු සයිබීරියාව හා බටහිර ඇලස්කාව ඇති වූ බෙරින්ජියා ගොඩබිම් පාලම මතින් ද, අනෙක් මාර්ගය ලෙස වෙරළ කලාපය දිගේ සංක්‍රමණය වීම දැකිවිය හැකි ය, ඒ සදහා මුහුදු ඇල්ගී විශේෂ 9ක් කාලනිර්ණය කරමින් පර්යේෂකයින් පිරිසක් කියා සිටින්නේ Monte Verde ක්ෂේත්‍රය අදින් වසර 14,220- 13,980 කාලයේ සිටම මිනිස් වාසස්ථානයක් ලෙස භාවිත වූ බවය (Dillehay et al., 2008; Sandweiss, 1998). ඒ අනුව අමරිකාව ජනාවාස කිරීම පැසිෆික් වෙරළ දිගේ සිදු වූ බවට අදාල සාක්ෂි ද ප්‍රබලව ගොඩනැගී ඇත (Braje et al., 2017; Davis et al., 2019; Lesnek et al., 2018). නමුත් එම මතය මෙතෙක් විශ්වීය වශයෙන් පිළිගැනීමට ලක්වී නොමැත (Potter et al., 2018). විද්වතුන්ගේ ගණනය කිරීම් අනුව දකුණු අමරිකාව ජනාවාසකරණය වූයේ අනුමාන වශයෙන් අදින් වසර 15,000- 13,500 අතර කාලයේ දී ය (Rothhammer & Dillehay, 2009).

රූපය 5- අමරිකානු බෙරින්ජියා ගොඩබිම් පාලම හා අනුමාන කළ හැකි මානව සංක්‍රමණ මාර්ග
රූපය 6- අමරිකානු බෙරින්ජියා ගොඩබිම් පාලම හා අනුමාන කළ හැකි මානව සංක්‍රමණ මාර්ග

ක්ලෝවිස් ආයුධ සම්ප්‍රදායට (Clovis culture) පෙර සිටි මිනිසුන් පිළිබඳ තොරතුරු දකුණු අමරිකාවේ Paisley 5 Mile Point Caves හි පාෂාණිභූත වූ වසුරු (Coprolite)මඟින් අනාවරණය වේ, එහි කාලනිර්ණය අදින් වසර 14,270- 14,000ක් දක්වා දිවේ (Gilbert et al., 2008)’ Walter A. Neves හා අනෙකුත් අය විසින් 2007 වර්ෂයේ දී Sumidouro ගුහාවෙන් ලබාගත් මුල් හොලෝසීනයට අයත් මානව අවශේෂ 30ක් හා අදින් වසර 13,000- 3,500 දක්වා කාලනිර්ණය කරන ලද මානව හිස්කබල් 74ක් පර්යේෂණයට ලක් කිරීමෙන් වර්තමාන අමෙරින්ඩින්වරුන්ගේ (American Indian- Amerindians) අස්ථිවිද්‍යාත්මක වෙනස්කම් හා සමානකම් යෝජනා කරන අතර, ප්‍රධාන ජීවවිද්‍යාත්මක සංචරක දෙකක සාක්ෂි ඉදිරිපත් කරයි (Neves, Hubbe, & Correal, 2007; Neves, Hubbe, & Piló, 2007). මෙක්සිකෝවේ Chiquihuite ගුහාවෙන් ලැබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි අදින් වසර 33,150- 31,405ක් දක්වා වන අතර, Gault (26,435–17,385 cal. bp) (Williams et al., 2018), Meadowcroft Rockshelter (24,335–18,620 cal. bp) හා Cactus Hill (20,585–18,970 cal. bp) කාලනිර්ණ දරයි (Becerra-Valdivia & Higham, 2020). නැගෙනහිර බෙරින්ජියාවේ පුරාක්ෂේත්‍ර අතර Bluefish Caves අදින් වසර 24,000ක් තරම් පැරණි වන අතර, තවත් එවැනි ක්ෂේත්‍ර 14ක් පිළිබඳ ව වැඩිදුර විස්තර එම ප්‍රකාශනයේම දැක්වේ. එහි නිගමනය වන්නේ අනිවාර්යෙන් ම අදින් වසර 14,000ක කාලයේ දී නම් මිනිස් වාසස්ථාන එහි පැවති බවට කාලානුක්‍රමික සාක්ෂි තහවුරු වන බවය. අමරිකාවට නූතන මානවයින් ඇතුළු වීමත් සමඟ බද්ධ වූ ජීවීන් විශේෂ 37කගේ වඳවීමක් ද වාර්තා වේ. ඒ අනුව Camelops, Cuvieronius, Equus, Mammut හා Mammuthus යන සතුන් අවසාන වරට වාර්තා වීමත් මානව වාසස්ථාන අමරිකාවේ වාර්තා වීමත් සමකාලීන බව වාර්තා වේ (Grayson & Meltzer, 2015).

රූපය 6- ක්ලෝවිස් ආයුධ සම්ප්‍රදායට අයත් ශිලා මෙවලම් (උපුටා ගැනීම Science Magazine ඇසුරෙනි)
රූපය 7- ක්ලෝවිස් ආයුධ සම්ප්‍රදායට අයත් ශිලා මෙවලම් (උපුටා ගැනීම Science Magazine ඇසුරෙනි)

ක්ලෝවිස් සංස්කෘතියට පෙර එනම් අදින් වසර 33,000කට පෙර පැවති සංස්කෘතික කණ්ඩායමක් පිළිබඳ පුරාවිද්‍යාත්මක අනාවරණයන් වර්ෂ 2020 දී උතුරු මෙක්සිකෝවෙන් ලැබී ඇත. ඒ තුළින් නිසැක වශයෙන් ම චිඒපිස් (Chiapas) උස්බිම්, මධ්‍යම මෙක්සිකෝව හා කැරිබියන් වෙරළ තීරයේ මානව ජනාවාස පැවති බව තහවුරු කරයි (Ardelean et al., 2020). පර්යේෂකයින් දක්වන ආකාරයට ශිලා මෙවලම් 1900ක් මීටර් 3ක් පමණ ගැඹුරු ස්තරායනයකින් අනාවරණය වන අතර, එය මීට පෙර වාර්තා නොවූ ශිලා සම්ප්‍රදායකි. ක්ලෝවිස් මෙවලම් පරිහරණය කළ මානවයින්ට පෙර සිටි මානව කොට්ඨාසයක් පිළිබඳ තොරතුරු ඒ තුළින් නිරූපණය වේ.

සයිබීරියාව හා බෙරින්ජියාවේ පුරාවිද්‍යාත්මක අවශේෂ එකතුවේ සමානකම්, පරිණාමය හා අනුවර්තනය නිරීක්ෂණය කිරීමට වයඹදිග බෙරින්ජියාවේ Rhinoceros Horn Site ක්ෂේත්‍රයෙන් සාධක හමුවේ. එහි සංස්කෘතික ස්තර අතර වඳ වීගිය සතුන් හා ශිලා මෙවලම් සුරක්ෂිත වී තිබේ. නමුත් Rhinoceros Horn site හි මුල් මානවයින් බෙරිං ගොඩබිම් පාලමෙන් නැගෙනහිර දෙසට ගමන් කර ඇලස්කාවට හෝ වයඹදිග කැනඩාවට ඇතළු වූ බවට සාධක නැත. නමුත් එහි මුල්කාලීන පැවැත්මක් පිළිබඳ සාධක Bluefish Caves තුළින් අදින් වසර 24,000- 28,000 දක්වා හමුවී ඇත, ඊටත් පැරණි සාධක Old Crow River ක්ෂේත්‍රයෙන් හමු වේ (Morlan, 2003).

නැගෙනහිර බෙරින්ජියාවේ Swan Point හි ක්ෂුද්‍රශිලා මෙවලම් මධ්‍යම සයිබීරියාවේ ඉහල පැලියෝලිතික අවධියේ ආයුධ සමඟ සමානත්වයක් දරයි. මේ අනුව එකී ක්ෂුද්‍රතල මෙවලම් නිෂ්පාදන තාක්ෂණය දැනසිටි මානවයා අවසන් ග්ලැසියර යුගයේ දී සයිබීරියාවේ සිට බෙරින්ජියාවට සංක්‍රමණය වූ බව නිගමනය කළ හැකි ය. ඇලස්කාව ඇතුළු උතුරු අර්ධගෝලයේ තවත් බොහෝ පුරාක්ෂේත්‍ර බොහෝමයක මෙම තත්වය නිරීක්ෂණය කළ හැකි ය. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ කාලය හා අවකාශය හරහා සිදුවන මෙම වෙනස්කම් ජනගහන වර්ධනයට සමානුපාතික බවත් එම මිනිස් ගහන එවකට ප්ලයිස්ටොසීනයේ පැවති පඳුරු සහිත තුන්ද්‍රා පරිසරයට හැඩගැසීමට සමත් වූ බවත් ය (Goebel et al., 2008). භූ විද්‍යාත්මක සාධක පෙන්වා දෙන්නේ අදින් වසර 40,000කට පෙර කාලයේ සිටම Cordilleran හා Laurentide හිම ආවරණ වර්තමාන කැනඩාවෙන් සැලකිය යුතු කොටසක් වසාගෙන සිටි බවත් නමුත් උණුසුම් කාලපරිච්ඡේදවලදී එම හිම දිය වී භූ ස්කන්ධ මතින් ඔබමොබ යා හැකි වූ බවත් ය. මෙම කොරිඩෝ පළමු අමකරිානු මිනිසුන් බෙරින්ජියාවේ සිට අමරිකාවට සංක්‍රමණය වූ මාධ්‍යය විය. Rhinoceros Horn site හි පළමු මිනිසුන් අදින් වසර 32 000ක් වන විට එය තරණය කළ අතර අදින් වසර 24,000වන විට ඒවා අවහිර වි තිබිණි. මෙලෙස විටින් විට මාර්ග අවහිර වෙමින් නැවත විවෘත වෙමින් පැවති අතර, Arlington Springs හි හමුවන අදින් වසර 13,000කට අයත් මානව අවශේෂ මඟින් පළමු අමරිකානු මිනිසුන් ඔරුපාරු භාවිතා කළ බව තහවුරු කර ඇත (Goebel et al., 2008).

සමාලෝචනය 

මානවයා අප්‍රිකාවෙන් පිටවී යාමේ න්‍යාය ආරම්භයේ සිටම විද්වත් ලෝකය තුළ දැඩි වාදවිවාද ඇති කළ මාතෘකාවකි. ලොව විවිධ ප්‍රදේශවල විවිධ න්‍යායාත්මක පසුබිම්වල සිටින විදවතුන් විසින් සිදුකරනු ලබන පුරාවිද්‍යාත්මක කැණිම් මඟින් අනාවරණය කරගන්නා මානව ෆොසිල, අර්ධ ෆොසිල හෝ මානවයා විසින් ඉවත දැමූ ආහාර අවශේෂ ආදියෙන් මෙම න්‍යාය අනාගතයේ දී වුවද අභියෝගයට ලක්වීමට හැකියාව ඇත. නවලෝකය ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු කලාපය හා අමරිකාව ජනාවාසකරණය කිරීම අප්‍රිකාවට හා යුරේසියාවට සාපේක්ෂව මෑතකාලීනව සිදුවූවක් ය යන්න ඉහත දක්වන ලද පුරාවිද්‍යාත්මක සාධක මෙන්ම ජානවිද්‍යාත්මක සාධකවලින් ද තහවුරු වේ. ඒ අනුව ‘නවලොව ජනාවාසකරණය ප්ලයිස්ටොසීන යුගයේ අගභාගයේ දී සිදු වී ඇති බව නිගමනය හැකි නමුත්, අනාගතයේ දී සිදුුවන පර්යේෂණ මත එය වෙනස් වීමට ඉඩ ප්‍රස්තා ඇති බවට අවධාරණය කළ යුතු ය.

කෙටිවාර්තා චිත්‍රපට

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ
  7. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 7: නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම
  8. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 8: නූතන මානවයා නවලොව ජනාවාසකරණය කිරීම  
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Ardelean, C. F., Becerra-Valdivia, L., Pedersen, M. W., Schwenninger, J.-L., Oviatt, C. G., Macías-Quintero, J. I., Arroyo-Cabrales, J., Sikora, M., Ocampo-Díaz, Y. Z. E., Rubio-Cisneros, I. I., Watling, J. G., de Medeiros, V. B., de Oliveira, P. E., Barba-Pingarón, L., Ortiz-Butrón, A., Blancas-Vázquez, J., Rivera-González, I., Solís-Rosales, C., Rodríguez-Ceja, M., … Willerslev, E. (2020). Evidence of human occupation in Mexico around the Last Glacial Maximum. Nature, 584(7819), 87–92.

Barker, G., Barton, H., Beavitt, P., Bird, M., Daly, P., Doherty, C., Gilbertson, D., Hunt, C., Krigbaum, J., Lewis, H., Manser, J., McClaren, S., Paz, V., Piper, P., Pyatt, B., Rabett, R., Reynolds, T., Rose, J., Rushworth, G., & Stephens, M. (2002). Prehistoric Foragers and Farmers in South-east Asia: Renewed Investigations at Niah Cave, Sarawak. Proceedings of the Prehistoric Society, 68.

Becerra-Valdivia, L., & Higham, T. (2020). The timing and effect of the earliest human arrivals in North America. Nature, 584(7819), 93–97.

Bird, M. I., Beaman, R. J., Condie, S. A., Cooper, A., Ulm, S., & Veth, P. (2018). Palaeogeography and voyage modeling indicates early human colonization of Australia was likely from Timor-Roti. Quaternary Science Reviews, 191, 431–439.

Bowler, J. M., Johnston, H., Olley, J. M., Prescott, J. R., Roberts, R. G., Shawcross, W., & Spooner, N. A. (2003). New ages for human occupation and climatic change at Lake Mungo, Australia. Nature, 421(6925), 837–840.

Bowler, J. M., & Magee, J. W. (2000). Redating Australia’s oldest human remains: a sceptic’s view. Journal of Human Evolution, 38(5), 719–726.

BOWLER, J. M., THORNE, A. G., & POLACH, H. A. (1972). Pleistocene Man in Australia: Age and Significance of the Mungo Skeleton. Nature, 240(5375), 48–50.

Braje, T. J., Dillehay, T. D., Erlandson, J. M., Klein, R. G., & Rick, T. C. (2017). Finding the first Americans. Science, 358(6363), 592–594.

Bulbeck, D. (2007). A parsimonious model for Homo sapiens colonization of the Indian ocean rim and Sahul. Current Anthropology, 48(2), 315–321.

Clarkson, C., Jacobs, Z., Marwick, B., Fullagar, R., Wallis, L., Smith, M., Roberts, R. G., Hayes, E., Lowe, K., Carah, X., Florin, S. A., McNeil, J., Cox, D., Arnold, L. J., Hua, Q., Huntley, J., Brand, H. E. A., Manne, T., Fairbairn, A., … Pardoe, C. (2017). Human occupation of northern Australia by 65,000 years ago. Nature, 547(7663).

Crabtree, S. A., White, D. A., Bradshaw, C. J. A., Saltré, F., Williams, A. N., Beaman, R. J., Bird, M. I., & Ulm, S. (2021). Landscape rules predict optimal superhighways for the first peopling of Sahul. Nature Human Behaviour, 23–29.

Davis, L. G., Madsen, D. B., Becerra-Valdivia, L., Higham, T., Sisson, D. A., Skinner, S. M., Stueber, D., Nyers, A. J., Keen-Zebert, A., Neudorf, C., Cheyney, M., Izuho, M., Iizuka, F., Burns, S. R., Epps, C. W., Willis, S. C., & Buvit, I. (2019). Late Upper Paleolithic occupation at Cooper’s Ferry, Idaho, USA, ~16,000 years ago. Science, 365(6456), 891–897.

Dillehay, T. D., Ramirez, C., Pino, M., Collins, M. B., Rossen, J., & Pino-Navarro, J. D. (2008). Monte Verde: Seaweed, Food, Medicine, and the Peopling of South America. Science, 320(5877), 784–786.

Gibbons, A. (2017). The first Australians arrived early. Science, 357(6348), 238–239.

Gilbert, M. T. P., Jenkins, D. L., Go therstrom, A., Naveran, N., Sanchez, J. J., Hofreiter, M., Thomsen, P. F., Binladen, J., Higham, T. F. G., Yohe, R. M., Parr, R., Cummings, L. S., & Willerslev, E. (2008). DNA from Pre-Clovis Human Coprolites in Oregon, North America. Science, 320(5877), 786–789.

Goebel, T., Waters, M. R., & O’Rourke, D. H. (2008). The Late Pleistocene Dispersal of Modern Humans in the Americas. Science, 319(5869), 1497–1502.

Grayson, D. K., & Meltzer, D. J. (2015). Revisiting Paleoindian exploitation of extinct North American mammals. Journal of Archaeological Science, 56, 117–193.

Harvati, K., Röding, C., Bosman, A. M., Karakostis, F. A., Grün, R., Stringer, C., Karkanas, P., Thompson, N. C., Koutoulidis, V., Moulopoulos, L. A., Gorgoulis, V. G., & Kouloukoussa, M. (2019). Apidima Cave fossils provide earliest evidence of Homo sapiens in Eurasia. Nature, 571(7766).

Hesp, P. A., Murray-Wallace, C. v., & Dortch, C. E. (1999). Aboriginal occupation on Rottnest Island, Western Australia, provisionally dated by Aspartic Acid Racemisation assay of land snails to greater than 50 ka. Australian Archaeology, 49(1), 7–12.

Hublin, J.-J., Ben-Ncer, A., Bailey, S. E., Freidline, S. E., Neubauer, S., Skinner, M. M., Bergmann, I., le Cabec, A., Benazzi, S., Harvati, K., & Gunz, P. (2017). New fossils from Jebel Irhoud, Morocco and the pan-African origin of Homo sapiens. Nature, 546(7657).

Lesnek, A. J., Briner, J. P., Lindqvist, C., Baichtal, J. F., & Heaton, T. H. (2018). Deglaciation of the Pacific coastal corridor directly preceded the human colonization of the Americas. Science Advances, 4(5), 1–10.

Malaspinas, A.-S., Westaway, M. C., Muller, C., Sousa, V. C., Lao, O., Alves, I., Bergström, A., Athanasiadis, G., Cheng, J. Y., Crawford, J. E., Heupink, T. H., Macholdt, E., Peischl, S., Rasmussen, S., Schiffels, S., Subramanian, S., Wright, J. L., Albrechtsen, A., Barbieri, C., … Willerslev, E. (2016). A genomic history of Aboriginal Australia. Nature, 538(7624).

Mallick, S., Li, H., Lipson, M., Mathieson, I., Gymrek, M., Racimo, F., Zhao, M., Chennagiri, N., Nordenfelt, S., Tandon, A., Skoglund, P., Lazaridis, I., Sankararaman, S., Fu, Q., Rohland, N., Renaud, G., Erlich, Y., Willems, T., Gallo, C., … Reich, D. (2016). The Simons Genome Diversity Project: 300 genomes from 142 diverse populations. Nature, 538(7624).

Mellars, P. (2006). Going East: new genetic and archaeological perspectives on the modern human colonization of Eurasia. Science, 313, 796–800.

Morlan, R. E. (2003). Current perspectives on the Pleistocene archaeology of eastern Beringia. Quaternary Research, 60(1), 123–132.

Neves, W. A., Hubbe, M., & Correal, G. (2007). Human skeletal remains from Sabana de Bogotá, Colombia: A case of Paleoamerican morphology late survival in South America? American Journal of Physical Anthropology, 133(4), 1080–1098.

Neves, W. A., Hubbe, M., & Piló, L. B. (2007). Early Holocene human skeletal remains from Sumidouro Cave, Lagoa Santa, Brazil: History of discoveries, geological and chronological context, and comparative cranial morphology. Journal of Human Evolution, 52(1), 16–30.

Pagani, L., Lawson, D. J., Jagoda, E., Mörseburg, A., Eriksson, A., Mitt, M., Clemente, F., Hudjashov, G., DeGiorgio, M., Saag, L., Wall, J. D., Cardona, A., Mägi, R., Sayres, M. A. W., Kaewert, S., Inchley, C., Scheib, C. L., Järve, M., Karmin, M., … Metspalu, M. (2016). Genomic analyses inform on migration events during the peopling of Eurasia. Nature, 538(7624), 238–242.

Pearce, R. H., & Barbetti, M. (1981). A 38,000-year-old archaeological site at Upper Swan, Western Australia. Archaeology in Oceania, 16, 168–172.

Pettitt, P. (2005). The Rise of Modern Humans. In C. Scarre (Ed.), The Human Past (3rd ed., pp. 124–173). Thames and Hudson Ltd.

Potter, B. A., Baichtal, J. F., Beaudoin, A. B., Fehren-Schmitz, L., Haynes, C. V., Holliday, V. T., Holmes, C. E., Ives, J. W., Kelly, R. L., Llamas, B., Malhi, R. S., Miller, D. S., Reich, D., Reuther, J. D., Schiffels, S., & Surovell, T. A. (2018). Current evidence allows multiple models for the peopling of the Americas. Science Advances, 4(8), 1–8.

Roberts, R. G., Jones, R., & Smith, M. A. (1990). Thermoluminescence dating of a 50,000-year-old human occupation site in northern Australia. Nature, 345(6271), 153–156.

Rothhammer, F., & Dillehay, T. (2009). The late pleistocene colonization of South America: an interdisciplinary perspective. The Annals of Human Genetics, 73, 540–549.

Sandweiss, D. H. (1998). Quebrada Jaguay: Early South American Maritime Adaptations. Science, 281(5384), 1830–1832.

Scott, C. (2013). First Footprints – the epic story of the first Australians. Allen & Unwin.

Thoma, A. (1973). New evidence for the polycentric evolution of Homo sapiens. Journal of Human Evolution, 2(6), 529–536.

Turney, C. S. M., Bird, M. I., Fifield, L. K., Roberts, R. G., Smith, M., Dortch, C. E., Grün, R., Lawson, E., Ayliffe, L. K., Miller, G. H., Dortch, J., & Cresswell, R. G. (2001). Early Human Occupation at Devil’s Lair, Southwestern Australia 50,000 Years Ago. Quaternary Research, 55(1), 3–13.

Waguespack, N. M. (2007). Why we’re still arguing about the pleistocene occupation of the Americas. Evolutionary Anthropology, 16, 63–74.

Waters, M., & Stafford, J. T. (2007). Redefining the age of clovis: implications for the peopling of the Americas. Science, 315, 1122–1126.

Williams, T. J., Collins, M. B., Rodrigues, K., Rink, W. J., Velchoff, N., Keen-Zebert, A., Gilmer, A., Frederick, C. D., Ayala, S. J., & Prewitt, E. R. (2018). Evidence of an early projectile point technology in North America at the Gault Site, Texas, USA. Science Advances, 4(7), 1–11.

 

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 7: නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම

කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම පිළිබදව වූ පළමු සංක්‍රමණය පිළිබද සිදුවන විද්‍යාත්මක පර්යේෂණ හා විදග්ධ කතිකාවත වර්තමානය වන විට ද  ලොව පුරා පුරවිද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා පුළුල් පරාසයක විෂය ප්‍රාමාණිකයින් අතර විශාල උනන්දුවක් ඇති කර ඇත. පවතින ෆොසිල, පුරාවිද්‍යාත්මක සහ පුරාදේශගුණික දත්ත විෂයානුබද්ධව බොහෝ උපකල්පන ඉදිරිපත් කරන අතර, ඊට අමතර ව, ජානමය වශයෙන් ප්‍රවේණිගත කිරීම සහ කාලනිර්ණය කිරීමේ ශිල්පීය ක්‍රම සහ ජාන සාම්පල ලබා ගැනීමේ හැකියාව වැඩි වීමත් සමඟ, වසර මිලියන ගණනක් පැරණි ඉතිහාසයට අදාළ න්‍යාය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය  තාක්ෂණික අංග වැඩිදියුණු වෙමින් පවතී. මෙම ලිපිය මගින්, ආදි මානවයා අප්‍රිකාවෙන් පිටව ගියේ කෙසේද සහ කවදාද, විසිර යාමේ වාර කීයක් තිබේද සහ භූගෝලීය මාර්ග මොනවාද යන්න පිළිබඳව වන අඛණ්ඩ විවාද පිලිබද අවධානය යොමු කෙරේ. එහි දී ප්‍රධාන පුරාවිද්‍යාත්මක සොයාගැනීම් කිහිපයක් සමඟ වත්මන් ජාන විද්‍යාත්මක පර්යේෂණ භාවිතා කරමින්, ඒවායේ වලංගුභාවය හා අනාගත පර්යේෂණ අවස්ථා පිළිබද අවසන් සාකච්ඡාව මෙහෙය වේ.

අප්‍රිකානු මහද්වීපයේ සිදුවූ මානව සම්භවය 19 වැනි සියවසේදී චාල්ස් ඩාවින් විසින් ප්‍රසිද්ධ ලෙස යෝජනා කරන ලදී (Darwin 1871). අප්‍රිකාවේ චිම්පන්සින් සහ ගෝරිල්ලන් සිටීම සහ නූතන මිනිසුන් සහ වානරයන් පොදු මුතුන් මිත්තෙකු බව හක්ස්ලිගේ සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යා අධ්‍යයනයන් මත පදනම්ව (Huxley 1863), ඩාවින් නූතන මිනිසුන්ගේ මුතුන් මිත්තන් අප්‍රිකානු භූමියේ සම්භවය විණි යැයි තර්ක කළේය. වර්තමානයේ, වසර 150කට වැඩි කාලයකින් පසුව, පුරාවිද්‍යාත්මක සාක්ෂි සමඟින් ජානමය වශයෙන් ප්‍රවේණිගත කිරීම සහ අනුක්‍රමණය කිරීමේ ශිල්පීය ක්‍රමවල වැඩිදියුණු වීමත් සමඟ ජාන විද්‍යාව, තවත් බොහෝ සංකීර්ණතා ඉස්මතු කරන අතරම, පළමු නූතන මානවයාගේ අප්‍රිකානු සම්භවය සැලකිය යුතු ලෙස ශක්තිමත් අන්දමින් තහවුරු කරයි. විශේෂයෙන්ම, මෙම ප්‍රවේණික ක්‍රමවල අඛණ්ඩ දියුණුවත් සමඟ සහ නව ජෛව තොරතුරු ප්‍රවේශ (Bioinformatics Tools) සමඟ සහජීවන සම්බන්ධ කිරීමක් (symbiotic coupling) හරහා, පර්යේෂකයින් මානව මූලාරම්භය පිළිබඳ ප්‍රශ්නවලට, පෙර පර්යේෂණවලින් අනාවරණය වූ තොරතුරුවලට සියුම් විභේදනයක් සහිත පිළිතුරු දීමට ජානමය තොරතුරු භාවිතා කිරීමට උත්සාහ කරයි. ඒ අනුව අපේ මුතුන් මිත්තන් මුලින්ම අප්‍රිකාව හැර ගියේ කෙසේද සහ කවදාද? විසරණ වාර කිහිපයක් හෝ තනි එකක් තිබුණාද? ඔවුන් ගමන් ගත් භූගෝලීය මාර්ග මොනවාද? තවමත් විවාදාපන්න ලෙස, දිනෙන් දින නව්‍ය වන තාක්ෂණික කාරණා ඔස්සේ වැඩිදියුණු වෙමින් පවතී.

මෙම මාතෘකාව සියුම් ව ගලායන පරිදි කරුණු සම්පිණ්ඩනය කිරීම අපහසු කාර්යයක් වන්නේ, විෂය කරුණුවල ඇති ඝට්ටනය, සංකීර්ණත්වය හා දිනෙන් දින ෆොසිල වාර්තාවේ සිදුවන යාවත්කාලීන කිරීම් හමුවේ එකතුවන නව දැනුම් කරුණු ගලපා ගැනීමට යම් කාලයක් අවශ්‍ය වන බැවිනි. බොහෝ විට එම කාලය මාස කීපයක සිට වසර කීපයක් දක්වා දිගු විය හැකි ය. එම නිසා කියවා ගැනීමේ හා තේරුම් ගැනීමේ පහසුව උදෙසා මෙතෙක් විද්වතුන් විසින් මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම පිළිබද පර්යේෂණ තේමා කීපයක් යටතේ ගොනු කර ඇත. නමුත්, පිළිගත යුතු යථාර්තය වන්නේ ඒවායින් එකක් පමණක් කිසිවිටෙකත් සත්‍යය නොවන බව ය. විටෙක සියල්ලම සත්‍යය විය හැකි ය, නමුත්, නිශ්චිතවම කායච්ඡේද විද්‍යාත්මකව ‘නූතන මානවයා මෙම කාලයේ දී, මෙම භුගෝලීය ප්‍රදේශය භාවිතා කරමින් පමණක් අප්‍රිකාවෙන් පිටවී ගොස් නව ලෝකය ජනාවාස කළේය’ නම් පරම සත්‍යයක් විද්‍යා ලෝකය තුළ දිරිමත් නොකරයි. ඒ අනුව වර්තමානයේ දී පවා උණුසුම් ලෙස විදග්ධ කතිකාවත මෙහෙයවෙන නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාමේ සංසිද්ධියට අදාල න්‍යායාත්මක ආකෘති කීපයක් මෙම ලිපියේ ඉදිරි කොටස් මගින් පැහැදිලි කෙරේ.

Candelabra හා ප්රතිස්ථාපන උපකල්පනය (The Replacement Hypothesis)

20 වැනි සියවසේ දෙවන භාගය පුරා මානව විද්‍යාත්මක කතිකාවතෙහි වැඩි ප්‍රමාණයක් ආධිපත්‍යය දැරූ විවාදය විසින්, කායච්ඡේද විද්‍යාත්මකව නවීන මානවයා (Anatomically Modern Human) ලෙස අප හඳුන්වනු ලබන නූතන හෝමෝ සේපියන්ස් බවට පරිණාමය වූයේ කොතැනද සහ කවදාද යන්න පිළිබඳව අවධානය යොමු කළේය. ප්‍රධාන උපකල්පන දෙකක් එම කතිකාවෙහි ආධිපත්‍යය දැරීය: එනම්, බහු කලාපීය උපකල්පනය (Multiregional Hypothesis) සහ ප්‍රතිස්ථාපන උපකල්පනය (The Replacement Hypothesis) වශයෙනි. මෙකී මුල්කාලීන බහු කලාපීය ආකෘතිය මානව විද්‍යාඥ Weidenreich විසින් 1946 දී යෝජනා කරන ලද අතර ප්ලයිස්ටොසීනය පුරාවට ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත් වන හෝමෝ ඉරෙක්ටස්ගේ උප ජනගහන අතර සැලකිය යුතු ජාන ප්‍රවාහයක්, නූතන හෝමෝ සේපියන්වරු බවට පත් වීමට අනුග්‍රහය දැක්වූ බව එහි මූලික හරය වේ (Weidenreich 1940). නමුත් මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ බහු කලාපීය ආකෘතිය බොහෝ විට Candelabra ආකෘතියට සමානව භාවිතා කර ඇති බව ය, (Templeton 2007) එම ආකෘතිය පළමු වරට 1962 දී කූන් විසින් යෝජනා කරන ලදී (Coon 1962). මෙම ආකෘතිය යටතේ ස්වාධීනව පරිණාමය වූ ව්‍යුහ විද්‍යාත්මක නවීන ලක්ෂණ සහිත මානව ස්වරූපය පසුගිය වසර මිලියන 1 තුළ ලොව පුරා විවිධ කාලවලදී සහ ස්ථානවලදී ස්වයංක්‍රීයව පැන නැඟී ඇත (Coon 1962), එබැවින් නූතන අප්‍රිකානු නොවන ජනගහනය එක් එක් මූලික වශයෙන් මෙම හෝමෝ විශේෂවල වෙනම පරිණාමයන්ගෙන් පැවත එන්නකි. මීට පරිබාහිරව පවතින, බහු කලාපීය ආකෘතිය, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයාගේ ස්වාධීන හා සමාන්තර පරිණාමය ප්‍රතික්ෂේප කරයි.

රූපය 1- ෆොසිල සාධක මත නිර්මාණය කරන ලද නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවී ගිය මාර්ග (උපුටා ගැනීම- http://www.sci-news.com)
රූපය 1- ෆොසිල සාධක මත නිර්මාණය කරන ලද නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවී ගිය මාර්ග (උපුටා ගැනීම- http://www.sci-news.com)

බහු කලාපීය සහ Candelabra උපකල්පනවලට සහාය දක්වන ප්‍රධාන ෆොසිල සාක්ෂිය වූයේ චීනයේ ඩාලි මිනිසා (Dali Man) සොයා ගැනීමයි (Wu 1981). බහු කලාපීයවාදීන් හෝ Candelabra  ආකෘතික ආධාරකරුවන් සඳහා, එය පෞරාණික සහ නවීන ලක්ෂණ මිශ්‍ර,  මුල් හා නූතන හොමිනින් අතර මධ්‍ය පරිණාමීය ලක්ෂණ ප්‍රකට වූ සාක්ෂි විය. එනම්, මෙම ෆොසිල දුර්වල සංරක්ෂණය වී ඇතත්, සමහර විද්වතුන් මෙම ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ ලොව පුරා සිටින අනෙකුත් හෝමෝවරුන් විසින් අඩුවැඩි වශයෙන් උරුමකරගත් බව යෝජනා කර ඇති අතර, එබැවින් එය ආසියාවට ආවේණික නොවන බව කියයි (Stringer & Andrews 1988; Stringer 1992). තවදුරටත් ඔවුන් අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත ජානමය උප්පත්ති ස්ථාන කිහිපයක මූලාරම්භය අනුමාන කර ඇත. උදාහරණ ලෙස මානව Dystrophin ජානයේ පැරණිතම හැප්ලෝටයිපය අප්‍රිකානුවන් තුළ නොමැති බව සොයා ගන්නා ලදී (Ziętkiewicz et al. 2003), එහි පශ්චාත් විශ්ලේෂණ කටයුතුවල දී අනාවරණය වූයේ Candelabra ආකෘතියට සහය ලබා දෙනවාට වඩා නියැන්ඩර්තාල්වරුන්ගෙන් අනුවර්තනය වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

Candelabra ආකෘතියට එදිරිවන සාධක පාෂාණ විද්‍යාත්මක (paleontological) සහ ජාන අධ්‍යයනයන් (genetic studies) තුළින් අනාවරණය වී ඇත. ප්‍රතිස්ථාපනය, හෝ අප්‍රිකාවෙන් පිට වී යාමේ න්‍යාය (Out of Africa), ආකෘතිය යෝජනා කරන්නේ අතීත මානවයින්ගේ සිට අප්‍රිකාවේ කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා දක්වා  වූ ගමන, හුදකලා සහ සාපේක්ෂව මෑත සංක්‍රමණයක් වන අතර, පසුව ලොක්යේ අනෙකුත් ප්‍රදේශවල ඒ වන විටත් ජනාවාසගතව සිටි ජනගහනය රළු ලෙස ප්‍රතිස්ථාපනය කරමින් ලෝකයේ සෙසු ප්‍රදේශවලට පසුව සංක්‍රමණය වීම එම ආකෘතියයේ මූලික හරයයි (Stringer & Andrews 1988; Ingman et al. 2000; Stringer 2002; Cavalli-Sforza & Feldman 2003; Relethford 2008; Tattersall 2009). මෙම ආකෘතිය යටතේ සේපියන්වරු හැර අනෙකුත් මානව වර්ගවල වදවී යාම දිරිමත් කරන අතර, සමකාලීන සේපියන් ගහනයේ බොහෝ ජානමය විවිධත්වය අදින් වසර 55,000 හා 200,000 අතර කාලය තුළ දී පැවත එන බවත්, එම කාලය කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා තනි හෝ බහු කණ්ඩායම් ප්‍රවේශයකින් අප්‍රිකාවෙන් පිට වී ගිය බවත් බොහෝ පර්යේෂකයින්ගේ අදහසයි.

අප්‍රිකාවෙන් පිටවී යාමේ න්‍යායට අනුරූප වන පළමු ජානමය සාක්ෂි සපයන ලද්දේ මයිටොකොන්ඩ්‍රියල් DNA හෙවත් මව්පාර්ශවයේ ජාන (Mitochondrial DNA) හි ජානවිද්‍යාත්මක ගස (Phylogenetic Tree) අධ්‍යයනය කිරීමෙනි, එය මානව මාතෘජාන සංචිතයේ මූලාශ්‍රය ලෙස අප්‍රිකාව හඳුනාගෙන ඇත (Cann et al. 1987; Vigilant et al. 1991; Horai et al. 1995; Tattersall 2009). එමගින් තවදුරටත් අප්‍රිකාවෙන් පිටත ඇති සියලුම මාතෘජාන සංචිතයේ (mtDNA haplogroups) දකුණු ආසියාවේ අදින් වසර 60,000- 65,000 ක් දක්වා ඇති M හෝ N ජාන සංචිතවලට ආරෝපණය කළ හැකි බව පෙන්වා දෙන ලද අතර (Macaulay et al. 2005), එය අදින් වසර 80,000 සිට පමණ නැගෙනහිර අප්‍රිකාවේ ඇති වූ බවට උපකල්පනය කරන ලද L3 ජාන සංචිතයෙන් පැවත එන බව සැලකේ (Metspalu et al. 2004). මානවයාගේ අප්‍රිකානු සම්භවය තවදුරටත් මාතෘජාන (mtDNA) (Ovchinnikov et al. 2000; Relethford 2001; Caramelli et al. 2003), Y chromosome (Thomson et al. 2000; Underhill et al. 2000; Hawks 2001) හා autosomal regions (Alonso & Armour 2001; Takahata et al. 2001) තුළින් තහවුරු වී ඇත. තවදුරටත් පුළුල් ජානමය දත්ත විශ්ලේෂනයේ දී තහවුරු වී ඇත්තේ, නැගෙනහිර හෝ දකුණු අප්‍රිකාවේ සිට භූගෝලීය දුර ප්‍රමාණයේ ශ්‍රිතයක් ලෙස ගත්විට එහි ප්‍රවේණිගත ජාන විවිධත්වය අඩුවන බව ය, එනම් විෂමජාතීයතාවයේ ආසන්න වශයෙන් සිදුවන රේඛීය අඩුවීමක් සහ සම්බන්ධතා අසමතුලිතතාවය අප්‍රිකාවෙන් පිටවී යාමේ න්‍යායට අනුකූල වන බව ය (Prugnolle et al. 2005; Ramachandran et al. 2005).

නූතන මානවයා හා ඔවුන්ගේ දකුණු, නැගෙනහිර හා උතුරු අප්‍රිකානු සම්භවය

කෙසේ වෙතත්, කායච්ඡේද විද්‍යාත්මක නූතන මානවයාගේ අප්‍රිකානු සම්භවය දැන් බොහෝ දුරට පිළිගෙන ඇතත්, ව්‍යුහ විද්‍යාත්මකව නවීන ස්වරූපය මුලින්ම නැඟෙනහිර, දකුණ හෝ උතුරු අප්‍රිකාවේ ඇති වූයේද යන්න පිළිබඳව විවාදය වර්තමානය දක්වාම පවතී.

දකුණු අප්‍රිකානු සම්භවය

නැගෙනහිර අප්‍රිකානු සම්භවයක් සඳහා සහය සපයනු ලබන්නේ ඉතියෝපියාවේදී මේ දක්වා පැරණිතම (අදින් වසර 190,000 හා 200,000) අවිවාදිත නවීන මානව ෆොසිල සොයාගැනීමෙනි: Omo I ක්ෂේත්‍රයේ Kibish ප්‍රදේශයේ තිබී වර්ෂ 1967 දී (Clark et al. 2003; McDougall et al. 2005) හා Herto ෆොසිල (McCarthy & Lucas 2014) (අදින් වසර 160,000 හා 154,000 දක්වා පැරණි) රිචඩ් ලීකී විසින් විසින් ප්‍රථම වරට සොයා ගන්නා ලදී.

රූපය 2- Omo I ක්ෂේත්‍රයෙන් හමුවූ මානව හිස්කබල (උපුටා ගැනීම Britannica)
රූපය 2- Omo I ක්ෂේත්‍රයෙන් හමුවූ මානව හිස්කබල (උපුටා ගැනීම Britannica)

රූපය 3- Hetro Fossils (උපුටා ගැනීම Smithsonian Magazine)
රූපය 3- Hetro Fossils (උපුටා ගැනීම Smithsonian Magazine)

දක්ෂිණාංශික සම්භවයක් සඳහා සාක්ෂි බොහෝ දුරට ලබා දී ඇත්තේ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්ට වඩා ජානමය අධ්‍යයන මගිනි. හෙන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් උප සහරා අප්‍රිකාවේ දැනට සිටින දඩයම්කරුවන්ගෙන් ප්‍රවේණි විශ්ලේෂණය කරන ලදී: මධ්‍යම අප්‍රිකාවේ පිග්මි, නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාවේ ආදිවාසීන් (Hazda සහ Sandawe) සහ දකුණු අප්‍රිකාවේ Khomani Bushmen ඔවුන් තම අධ්‍යනය සදහා තෝරාගන්නා ලදී (Henn et al. 2011). එහි ප්‍රතිඵල පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ LD (Linkage Disequilibrium) සහ Heterozygosity රටා තුළින් දකුණු අප්‍රිකානු දඩයම්කරුවන් සියලු මානව ජනගහනයෙන් වඩාත්ම ජානමය වශයෙන් විවිධ වූවන් අතර වන අතර, එය මානවයා අප්‍රිකාවෙන් පිටවී යාමේ න්‍යාය සදහා ද පිටිවහලක් ලෙස සැලකේ. දකුණු අප්‍රිකානු ආදිවාසී ජනසමාජ වල Linkage disequilibrium කේන්ද්‍රකරගත් තවත් පර්යේෂණ තුළින් උක්ත පර්යෙෂණයේ සොයාගැනීම් තහවුරු කරඇති අතර, අප්‍රිකාවේ අනෙකුත් ප්‍රදේශවල එම අගය සාපේක්ෂව අඩුඅගයක් ගන්නා බව ද සන්සන්දනාත්මක ව ඉදිරිපත් කර ඇත (Schlebusch et al. 2012).

වඩාත් මෑතකාලීන අධ්‍යයනයක් මගින් ලෝකයේ වෙනත් ආදිවාසී කණ්ඩායම් හා පුරාණ පාරිසරික දත්ත උපයෝගී කරගෙන පුරාණ ජනගහන ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තු ඒකාබද්ධව විශ්ලේෂණය කරන ලදී (Kim et al. 2014). එමෙන් ම මාතෘජාන සංචිත ව්‍යාප්තිය පිළිබද සිදුකරන ලද පර්යේෂණයක් තුළින් නවීන මාතෘජාන සංචිත ආරම්භ වූ පූර්වජයා දකුණු අප්‍රිකානු කණ්ඩායම් වලට බෙදීමට පෙර මධ්‍යම අප්‍රිකාවේ දී සම්භවය වූ බව අනාවරණය කරන ලදී (Rito et al. 2013).

රූපය 4- Khomani Bushmen (උපුටා ගැනීම www.khomanisan.com)
රූපය 4- Khomani Bushmen (උපුටා ගැනීම www.khomanisan.com)

උතුරු අප්‍රිකානු සම්භවය

මෑතක් වන තුරුම, අප්‍රිකාවෙන් පිටවී යාම පිලිබද ආකෘතියේ විභව මූලාරම්භක ලක්ෂ්‍යයක් ලෙස උතුරු අප්‍රිකාව කෙරෙහි එතරම් අවධානයක් යොමු කර නැත, නමුත් මොරොක්කෝවේ Jebel Irhoud හි අනාවරණය කරගත් සාධක අදින් වසර 160,000 ක් දක්වා දිව යයි (Smith et al. 2007). වරින් වර සංශෝධනය කරන ලද ජාන ගසෙහි (Phylogenetic tree) පැරණිතම ජාන සමූහ, මධ්‍යම සහ වයඹදිග අප්‍රිකාවේ මුල් බැස ඇති බව සොයා ගත් අතර, එමගින් මෙම කලාපය කෙරෙහි අවධානය වැඩි වශයෙන් යොමු විය. උතුරු අප්‍රිකාව, මැදපෙරදිග හා යුරෝපයේ ව්‍යාප්ත වී ඇති Y chromosome හා වෙනක් ජාන විශේෂිත සාධක පර්යේෂණයට ලක් කිරීම මගින් නූතන මානවයාගේ උතුරු අප්‍රිකානු සම්භවය සනාථ කරයි (Fadhlaoui-Zid et al. 2013).

රූපය 5- Jebel Irhoud Fossil (උපුටා ගැනීම science.org)
රූපය 5- Jebel Irhoud Fossil (උපුටා ගැනීම science.org)

අප්‍රිකාවෙන් පිට විය හැකි මාර්ග

නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවීම සම්බන්ධයෙන් වඩාත් කුතුහලය දනවන ප්‍රශ්නයක් වන්නේ ඔවුන් කුමන භූගෝලීය මාර්ගයක් භාවිත කළේ ද යන්නයි. පිළිගත් මතය නම්, නූතන මානවයන් එක් විසුරුමකින් අප්‍රිකාවෙන් පිටව ගියේ නම්, එකල පැවතිය හැකි මාර්ග දෙකක් පිළිබද තොරතුරු දැක්විය හැකි හැකි ය: එනම්, උතුරු මාර්ගය ලෙස, ඊජිප්තුව සහ සීනායි හරහාත්, දකුණු මාර්ගය ලෙස, ඉතියෝපියාව හරහා, Bab el Mandeb සමුද්‍ර සන්ධිය සහ අරාබි අර්ධද්වීපයත් යන්න ය. නමුත්, වර්තමානය දක්වා ම මේ ප්‍රශ්නය විශ්වාසයෙන් යුතුව විසඳා ගැනීමට පුරාවිද්‍යාත්මක හෝ ජානමය සාක්ෂිවලට මෙතෙක් හැකි වී නැත.

උතුරු දොරටුව

අප්‍රිකාවෙන් පිටත දී හමුවන නූතන සේපියන් ෆොසිල වන්නේ Skhul සහ Qafzeh, Levant හි හමුවන ෆොසිල වන අතර, ඒවා සියල්ල අදින් වසර 120,000 හෝ 100,000 – 90,000 දක්වා පැරණි ය (Grün et al. 2005). මෙකී ෆොසිල සිනායි අර්ධද්වීපය හරහා ලෙවන්ට් දක්වා ගමන් කරන, ආසන්න වශයෙන් අදින් වසර 120,000 පැරණි මුල් සේපියන්වරුන්ට අයත් පිටවීමක් නියෝජනය කරන බවට යෝජනා වී ඇත. මෙම කලාපයෙන් හමුවූ මීළඟ මානව ෆොසිල අතර ලෙවන්ට්හි මුල් සේපියන් ජනාවාස, ස්තරානුකූලව සැලකිය යුතු පරතරයක් පෙන්නුම් කරමින් අදින් වසර 55,000 -59,000 ක් පමණ කාල නිර්ණය කරන ලද Manot1 හිස් කබල අනාවරණය වේ. මෙය, දේශගුණික වාර්තා සමඟ ඒකාබද්ධව, ගෝලීය ග්ලැසියර කාලපරිච්ඡේදය අදින් වසර 90,000- 60,000 ක් අතර කාලයේ දී පළමු මිනිසුන් ලෙවන්ට් මිනිසුන් එහි ජීවත් වුවද පැවති දේශගුණික විපර්යාස තුළින් ඔවුන්ගේ අවශේෂ විනාශ වන්නට ඇති බව විද්වතුන්ගේ මතය යි (Pope & Terrell 2007). අනෙකුත් කතුවරුන් අවධාරණය කරන්නේ  අදින් වසර 90,000කට පෙර එම සේපියන්ස්වරු ලෙවන්ට් හැර ප්‍රදේශය හැරගිය බව ය. තවදුරටත් අරාබි අර්ධද්වීපයෙන් පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය, මූලික වශයෙන් අදින් වසර 100,000 – 90,000 දක්වා පැරණි ගල් ආයුධ සහ පුරාකෘති එකතූන් මගින් ඇඟවෙන්නේ එම ප්‍රදේශයේ මුල් ජනාවාස පුළුල් ලෙස පැතිරී තිබූ බවත්, Skhul සහ Qafzeh ෆොසිල වාර්තා මගින් ලෙවාන්ට් ප්‍රදේශයේ සිදුවූ අසාර්ථක නික්මයෑමක් නියෝජනය කරන බවත් ය (Groucutt et al. 2015a).

රූපය 6- Manot 1 Fossil (උපුටා ගැනීම ScienceDirect)
රූපය 6- Manot 1 Fossil (උපුටා ගැනීම ScienceDirect)

පුරාවිද්‍යාත්මක හා දේශගුණික වාර්තා වලින් ලැබෙන සාක්ෂි වලට අමතරව, ජාන අධ්‍යයනයන්ද උතුරු මාර්ගයක් සඳහා යම් සහයෝගයක් ලබා දී ඇත. microsatellite loci 10ක් හා binary markers 45ක් සමග Y chromosome ජාන සංචිතයේ ව්‍යාප්තිය නිරීක්ෂණය කළ පර්යේෂණයකින් අප්‍රිකාව සහ යුරේසියාව අතර ප්‍රාථමික සංක්‍රමණික චලනයන් සඳහා ලෙවන්ට් ප්‍රදේශය වඩාත් ආධාරක වූ මාර්ගය බවට නිගමනය කර ඇත (Luis et al. 2004). තවත් පර්යේෂණයකින් ඉතියෝපියානු ජනවාර්ගික කණ්ඩායම් පහකින් (Amhara, Oromo, Ethiopian Somali, Welayta, සහ Gumuz) ඊජිප්තුවරුන් 100 දෙනෙකුගේ සහ පුද්ගලයන් 125 දෙනෙකුගේ ප්‍රවේණි අනුපිළිවෙලක් සකස් කරන ලදී. ඒ අනුව පසුගිය වසර 4000 තුළ අප්‍රිකානු ජාන විශ්ලේෂණය, නවීන අප්‍රිකානු නොවන ජාන, ඉතියෝපියානු ජානවලට වඩා ඊජිප්තු ජාන වලට සමාන බව ඔවුන් පෙන්වා දුන් අතර, එමඟින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව උපකල්පනය කරමින් අප්‍රිකානු සංක්‍රමණයේ වැඩි ඉඩක් ඇති මාර්ගය ඊජිප්තුව හරහා වැටී ඇති බව යෝජනා කරයි (Pagani et al. 2015). කෙසේ වෙතත්, නූතන ජාන විශ්ලේෂණ අධ්‍යයනයන්හි එක් සීමාවක් නම්, ජනගහන ප්‍රතිස්ථාපනය, සංක්‍රමණය, මිශ්‍රණය සහ ප්ලාවිතය වැනි සාධක හේතුවෙන් පවතින ජනගහනය අතීත ජනගහනයේ ප්‍රමිතිගත නියෝජිතයන් නොවිය හැකි බවයි.

දක්ෂිණ දොරටුව

උතුරු දොරටුවෙන් පරිබාහිර ව, මාතෘජාන අධ්‍යයන සම්ප්‍රදායිකව රතු මුහුදේ Bab el Mandeb සමුද්‍ර සන්ධිය හරහා වූ බවට වන සාක්ෂි මගින් නූතන සේපියන් අප්‍රිකාවෙන් පිටවී යාම දක්ෂිණාංශික මාර්ගයකින් සිදු වූ බවට අදහස් පළ වී ඇත (Cavalli-Sforza et al. 1988; Soares et al. 2012a). එතැන් සිට නූතන මානවයන් අග්නිදිග ආසියාවේ සහ ඕෂනියාවේ ප්‍රදේශවලට වේගයෙන් ව්‍යාප්ත වී ඇතැයි සැලකේ (Forster & Matsumura 2005; Reed & Tishkoff 2006). නිදසුනක් වශයෙන්, ජාන සංචිත L3 හි පුද්ගලයන් අප්‍රිකාවේ සෝමාලි අර්ධද්වීපය හරහා මහාද්වීපයෙන් පිටතට සංක්‍රමණය වූ බව අධ්‍යයන දෙකකින් නිගමනය කර ඇත (Torroni et al. 2006; Soares et al. 2012b). එමෙන් ම මෙම ආකෘතිය යටතේ, එක් මානව කණ්ඩායමක් රතු මුහුද තරණය කර අරාබි අර්ධද්වීපයේ දකුණු වෙරළ තීරය දිගේ ඉන්දියාව දෙසට ගමන් කළ බව සැලකේ (Oppenheimer 2012a). මෙම කාල පරිච්ඡේදය තුළ සිදුවන ග්ලැසියර තත්ත්වයත් සමග මෙය අනුරූප වන අතර, එය රතු මුහුද හරහා ගමන් කිරීමට ඉඩ සලසන මුහුදු මට්ටම් පහත වැටීමට හේතු විය (Liu et al. 2006).

පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් සලකා බැලූ විට, සමුද්‍රීය සම්පත් ගවේෂණය (Marine Exploitation) පෙන්නුම් කරන සාක්ෂි අතිශයින් සීමිතය. රතු මුහුදේ Abdur ගල්පරවලින් සහ ගල්ෆ් ද්‍රෝණියේ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් පුරාකෘති සොයා ගැනීම, එම ප්‍රදේශයේ අදින් වසර 100,000 පෙර දිගුකාලීන මානව ජනාවාස පෙන්නුම් කරයි; කෙසේ වෙතත්, මේවා නූතන මානව කණ්ඩායම්වල මුතුන් මිත්තන්ගේ ක්‍රියාකාරකම් නියෝජනය කරන්නේද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි (Walter et al. 2000).

මානවයා අප්රිකාවෙන් පිට වී ගියේ කුමන කාලයක දීද?

තවත් ප්‍රධාන විවාදයක්  වන්නේ අප්‍රිකාවෙන් පළමු මිනිසුන් පිටවීමේ නිශ්චිත කාලයයි. දැනට පිළිගත් මතයට අනුව යුරේසියාවට ලගා වීම අදින් වසර 50,000 – 60,000 අතර කාලයේ ද, නිශ්චිත වශයෙන්ම ඕස්ට්‍රේලියාවට ලගා වීම අදින් වසර 45,000- 50,000 ත් අතර කාලයේ සිදු විය (Stringer 2000; Mellars 2006; Underhill & Kivisild 2007; Shi et al. 2010; O’Connell & Allen 2012; Mellars et al. 2013). දෙවැන්න වන්නේ ටෝබා කන්ද (උතුරු සුමාත්‍රාවේ පිහිටි) පුපුරා යාමට පෙර අදින් වසර 74,000 දක්වා හා 100,000 – 130,000 පමණ වන විට මිනිසුන් අප්‍රිකාවෙන් පිටවී ගිය බව ය (Rampino & Self 1992; Mellars et al. 2013). මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම කාලනිර්ණය කිරීමේ දී ටෝබා පිපිරීම වැදගත් සන්දර්භයක් සපයයි, එනම්, නූතන සේපියන්ස් මානවයින් හා සම්බන්ධ ශිලාමෙවලම් එහි ගිනිකදු අළු තුළ සුරක්ෂිත වී ඇති බැවිනි (Petraglia et al. 2007). එනම් වසර 74,000කට පෙර නූතන මිනිසුන් අග්නිදිග ආසියාවට ළඟා වී ඇති බවට මෙය පැහැදිලි සාක්ෂි සපයයි. පුරාවිද්‍යා ස්ථානය වන Jebel Faya (වර්තමාන එක්සත් අරාබි එමීර් රාජ්‍යය) සහ Dhofar (වර්තමාන ඕමානය) හි නූබියන් සංකීර්ණයෙන් සොයාගත් ශිලා මෙවලම් අරාබිය හරහා සිදු වූ මුල් සංක්‍රමණය සඳහා තවදුරටත් සහාය ලබා දී ඇත (Armitage et al. 2011). එමෙන් ම, Daoxian (දකුණු චීනය) හි Fuyan ගුහාවෙන් අදින් වසර 80,000- 120,000 පැරණි මිනිස් දත් 47 ක් මෑතදී සොයා ගැනීම (Liu et al. 2015) තුළින්, ප්ලයිස්ටොසීන යුගයේ මුල් භාගයේදී නූතන මානවයා ආසියාව පුරා ව්‍යාප්ත වීම පිළිබද න්‍යායට සහාය වේ. කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් අතර සිටින පුද්ගලයින් නවීන ජනගහනයට ජානමය වශයෙන් දායක වූයේද නැතහොත් ලෙවන්ට් හි යෝජනා කර ඇති ආකාරයටම තවත් අසාර්ථක නික්මයාමක් නියෝජනය කරන්නේද යන්න සොයා බැලිය යුතුය. අදින් වසර 70,000- 120,000 ක කාලයට වඩා ඈත පෙරදිග නූතන මානවයා ස්ථානගත කිරීමට උපකාර විය හැකි අනෙකුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි වන්නේ Zhirendong (දකුණු චීනය) හි මානව අවශේෂ (Liu et al. 2010), ලුනා ගුහාවේ මෑත ප්ලයිස්ටොසීනයට අදාල මානව දත් (Bae et al. 2014), දකුණු චීනයේ Liujiang සැකිල්ල (Rosenberg 2002), හා Callao man නම් වූ අදින් වසර 67,000කට කාලනිර්ණය කර ඇති පිලිපීනයේ වූ මානව පාද අස්ථියයි (Mijares et al. 2010).

රූපය 7- චීනයේ Zhirendong ප්‍රදේශයෙන් හමු වූ මානව අවශේෂ (උපුටා ගැනීම PNAS)
රූපය 7- චීනයේ Zhirendong ප්‍රදේශයෙන් හමු වූ මානව අවශේෂ (උපුටා ගැනීම PNAS)

මෙම විවිධ දින සඳහා පරස්පර පුරාවිද්‍යාත්මක සාක්ෂි නිරාකරණය කිරීමට ජාන අධ්‍යයනයට තවමත් නොහැකි වී ඇති අතර, ඒවා පූර්ව ටෝබා (අදින් වසර 100,000-130,000) හෝ පශ්චාත් ටෝබා (අදින් වසර 50,000-60,000 පමණ) ලෙසද වර්ග කළ හැක. බොහෝවිට පෞරාණික ජාන (aDNA) දත්ත අවකාශීයව නොතිබීම හෝ සංරක්ෂණය නොවීම නිසා, එවැනි ජාන පදනම් වූ ප්‍රවේශ, නවීන ජාන භාවිතා කරමින් අනුමාන කිරීම කෙරෙහි විද්‍යාඥයින් අවධානය යොමු කර ඇත. මාතෘජාන සංචිත ප්‍රතිනිර්මාණය කිරීම මත පදනම් වූ අධ්‍යයනයන් අදින් වසර 60,000 සහ 40,000 අතර දිනයකදී නූතන මිනිසුන් අප්‍රිකාවෙන් පිට වූ බවට යෝජනා කර ඇත (Underhill & Kivisild 2007).

නියැන්ඩතාල් මිනිසුන් හා ඩෙනිසෝවන්වරුන් සමග මිශ්රවීම

ඔවුන් අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වීමේදී, පිටත සේපියන්වරු පමණක් තනිවම නොසිටි අතර, අවම වශයෙන් යුරේසියාවේ වාසය කරන මානව කණ්ඩායම් දෙකක් එනම්, නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් ලෙස පිටත ලෝකයේ විසී ය. ප්‍රතිස්ථාපන න්‍යාය හා අප්‍රිකාවෙන් පිට වී යාමේ න්‍යාය සාම්ප්‍රදායිකව සලකා බැලීමේ දී ජාන මිශ්‍රවීමක් පිළිබද අදහස් දැක්වීම අපහසු ය. නමුත් සංශෝධනය කරන ලද ප්‍රතිස්ථාපිත න්‍යාය අනුව අප්‍රිකාවෙන් පිටවී යාමේ දි සිදු වූ ජාන ගලනයක් සදහා උපකල්පන ගොඩනැගිය හැකි වේ, තවදුරටත් එය බහුප්‍රාදේශීය න්‍යායෙන් ව්‍යුක්තව දැක්විය නොහැකි වන අතර ම candelabra ආකෘතියෙන් වෙන් වී පවතී.

මානව පරිණාමයේ කතාන්දරයේ දී පුරාණ ජාන සමග සිදුකරන ලද පර්යේෂණවල වඩාත් උද්යෝගිමත් ප්‍රතිඵල වන්නේ නියැන්ඩතාල් මිනිසුන් හා ඩෙනිසෝවන් මානවයා හා සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා ය (Reich et al. 2010; Meyer et al. 2012; Prüfer et al. 2014). නියැන්ඩර්තාල් විශේෂය සොයාගත් ජර්මනියේ නියැන්ඩර් නිම්නයේ නමින් නම් කරන ලද නියැන්ඩර්තාල්, ප්‍රථම වරට අදින් වසර ලක්ෂ 2 සිට 2.5 දක්වා කාලයට අයත් ලෙස සැලකේ (Hublin 2009), නමුත් නිශ්චිත පරාසය තවමත් විවාදයට ලක්ව ඇති අතර, අවම වශයෙන් දකුණු යුරෝපයේ ප්‍රදේශ වල, ඔවුන් අදින් වසර 30,000 දක්වාම වන තෙක් පැවතුනි (Finlayson et al. 2006). මූලික ජාන විශ්ලේෂණ මාතෘජාන සංචිත කෙරෙහි අවධානය යොමු කරන ලද අතර, එය පැරණි සාම්පල වලින් වඩාත් පහසුවෙන් නිස්සාරණය කර විස්තාරණය කළ හැකි අතර (extracted and amplified), යුරේසියාවට සංක්‍රමණය වන විට නියැන්ඩර්තාල් සහ නූතන මානවයන් අතර අන්තර් මිශ්‍ර නොවීයැයි යෝජනා කරන ලදී (Krings et al. 1997a; b; Serre et al. 2004; Green et al. 2008).

රූපය 8- Denisova අවශේෂ (උපුටා ගැනීම Science | AAAS)
රූපය 8- Denisova අවශේෂ (උපුටා ගැනීම Science | Science | AAAS)

දකුණු සයිබීරියාවේ Altai කඳුකරයේ ඩෙනිසෝවා ගුහාවෙන් සොයා ගන්නා ලද මානව ඇගිලි පුරුක විශ්ලේෂණයෙන් ඩෙනිසෝවන් නම් වූ නියැන්ඩර්තාල් මානවයන් හා සම්බන්ධ ජානමය වශයෙන් වෙනස් වූ පුරාවිද්‍යා මානව සමූහයක පැවැත්ම තහවුරු විය (Reich et al. 2010; Meyer et al. 2012). ඩෙනිසෝවන් පරම්පරාව ප්‍රවේණික සාක්ෂි මත පදනම්ව වර්ගීකරණය කරන ලද අතර නියැන්ඩර්තාල්වරුන් වෙතින් ජානමය වශයෙන් අපසරණය වී ඇති බව ඇස්තමේන්තු කර ඇත (Prüfer et al. 2014). එහි එන විශ්මයජනක සොයාගැනීමක් නම්, සයිබීරියාවේදී සොයා ගෙන ඇති, ඩෙනිසෝවන් ජාන නවගිනියානුවන්, ඕස්ට්‍රේලියානුවන් සහ ඇතුළු නවීන දින ආසන්න සාගර වැසියන් සමඟ පොදුවේ හඳුනාගත හැකි ජාන කොටස් (3%-5% ක ප්‍රමාණයක්) බෙදා ගන්නා බව සොයා ගන්නා ලදී (Finlayson et al. 2006; Reich et al. 2010, 2011; Meyer et al. 2012). එතැන් සිට, ඩෙනිසෝවන් ජාන නූතන ජනගහනය තුළ තවදුරටත් අනාවරණය වී ඇත, උදාහරණයක් ලෙස, නැගෙනහිර යුරේසියාවේ සහ ස්වදේශික ඇමරිකාවේ නූතන ජනගහනයේ ඩෙනිසෝවන් ජාන පුළුල් ලෙස පැතිරී ඇති බව යෝජනා කරයි (Prüfer et al. 2014; Qin & Stoneking 2015). නිදසුනක් වශයෙන්, ඉහළ උන්නතාංශවල වෙසෙන ටිබෙට් වැසියන්ගේ ඔක්සිජන් රහිත තත්වයන්ට අනුවර්තනය වන ජාන සංචිත වර්ග ඩෙනිසෝවන් හෝ ඩෙනිසෝවන් ආශ්‍රිත පුද්ගලයින්ගේ ජාන ව්‍යුහයේ ද දක්නට ඇති අතර, එය අනෙකුත් මානව වර්ග සමඟ මානව ජාන විවිධත්වය රැකගැනීමේ දී අනුවර්තනය වීමේ දී වැදගත් විය හැකි බව පර්යේෂකයින් යෝජනා කරයි (Huerta-Sánchez et al. 2014).

සංක්‍රමණ තරංග: තනි හෝ බහුවිධ අවස්ථා?

මානවයා අප්‍රිකාවෙන් පිටවී යාමේ න්‍යාය හා සම්බන්ධව පවතින මතභේදයේ තවත් මාතෘකාවක් වන්නේ අප්‍රිකාවෙන් පිටව ගිය ප්‍රථම නූතන මානවයන් එක් වරකදී පමණක් පිටවී ගියා ද  නැතහොත් ඇත්ත වශයෙන්ම ලෝකයේ සෙසු ප්‍රදේශවල ජනාකීර්ණ කිරීම සඳහා අප්‍රිකාවෙන් පිටතට විසිරී යාමේ වාර කිහිපයක් තිබේද යන්නයි. ඒ සදහා විවිධ විසරණ ආකෘති පවතින අතර, ඒ සියල්ලම විද්‍යාත්මකව තහවුරු කරන ලද ඒවා ය (Groucutt et al. 2015b).

මානවයා අප්‍රිකාවෙන් පිට වී, යුරේසියාවේ සෙසු ප්‍රදේශවලට තනි තරංගයක් ලෙස උතුරේ හෝ දකුණේ හෝ තනි මාර්ගයක් හරහා සංක්‍රමණය වූ බව තනි විසුරුම් (single dispersal) ආකෘතියෙන් දැක්වේ. නමුත් තනි විසුරුමේ ආකෘතියේ ප්‍රභේද ඒවායේ කාලසීමාව අනුව වෙනස් වේ, නිදසුනක් ලෙස, ඉහළ පැලියොලිතික් ආකෘතිය යටතේ සම්පූර්ණ ජනගහන ප්‍රතිස්ථාපනය සමඟින් අදින් වසර 50,000ට පසුවත් (Shea 2001; Meignen 2012; Kuhn 2013), Skhul සහ Qafzeh මානව අවශේෂ සහ දේශගුණික දත්ත මත පදනම්ව මානවයාගේ පිටවී යාම අදින් වසර 100,00-120,000 දක්වාත් උපකල්පනය කෙරේ (McDermott et al. 1993; Frumkin et al. 2011). තවදුරටත්, අදින් වසර 50,000- 75,000කට පෙර දිනයකදී (Oppenheimer 2012b) මානවයින් ගමන්ගත් මගේ සන්දර්භය අනුව ද විවාදය වෙනස් මගත් ගනී, එනම් ඔවුන් වෙරළබඩ කාලපය දිගේ ගමන් ගත් බවට වර්තමාන එක්සත් අරාබි අරාබියේ හා ඊසානදිග අප්‍රිකාවේ ඇති පුරාකෘති මත පදනම්ව අදහස් පළ වී ඇත (Armitage et al. 2011a; Usik et al. 2013).

මෙම සියලු ආකෘතීන් යටතේ, ජානමය සාක්ෂිවලින් පෙනී යන්නේ අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වීම ආරම්භක සංක්‍රමණ කණ්ඩායම් තුළ දැඩි බාධකයක් සමඟ ඇති වූ බවත්, වේගවත් ප්‍රසාරණයකට පෙර ජාන විවිධත්වය විශාල ලෙස අඩු කරන බවත්ය. ඒ අනුව අනුක්‍රමික නිර්මාතෘ ප්‍රයෝග ආකෘතිය (serial founder effect model) යනු තනි විසුරුමේ ආකෘතියක් පිළිබඳ විය හැකි එක් අර්ථකථනයක් වන අතර (Deshpande et al. 2009), අප්‍රිකාවෙන් පිටතට විසිරීම මුලින් සිදු වූයේ තනි සංක්‍රමණික කණ්ඩායමක් හරහා වන අතර පුද්ගලයන් ජනාකීර්ණ ප්‍රදේශවලට විසිරී, ජනගහන ප්‍රමාණයෙන් ව්‍යාප්ත වූ අතර, ඉහළ නැංවීමක් ලෙස පුනරාවර්තන ආකාරයෙන් දිගටම පැවතුනි. මෙම අනුක්‍රමික නිර්මාතෘ ක්‍රියාවලිය අප්‍රිකාවේ සිට භූගෝලීය දුර වැඩි වන විට කණ්ඩායම් වශයෙන් නිරීක්ෂණය කරන ලද ජානමය ප්ලාවිතය වැඩි වීමේ සහ ජාන විවිධත්වය අඩු වීමේ රටාවන් ඇති කළ හැකිය (Pemberton et al. 2013).

නවතම සොයාගැනීම් අනුව ජානවිවිධත්වය සහ භූගෝලීය දුර අතර නිරීක්ෂණය කරන ලද ප්‍රතිලෝම සහසම්බන්ධය තවදුරටත් ඓතිහාසික ආකෘති යටතේ උත්පාදනය කළ හැකි බව පෙන්වා දී ඇත (Pickrell & Reich 2014). පළමුවෙන්ම නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවී යාමේ ස්වභාවය සලකා බලන විට නැගෙනහිර ආසියාව ප්‍රධාන කලාපයකි. තනි විසුරුමේ ආකෘතියක් යටතේ, නැගෙනහිර ආසියාවේ ජනතාව තනි රැල්ලක් හරහා සිදු වූ බවට උපකල්පනය කර ඇත, උදාහරණයක් ලෙස, ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් මෙම නැඟෙනහිර ආසියානු පුද්ගලයන්ගේ රැල්ල තුළින් විවිධාංගීකරණය වී ඇතැයි අනුමාන කෙරේ. මෑත කාලීන සම්පූර්ණ-ප්‍රවේණික අධ්‍යයන හෙළි කරන්නේ යුරෝපීයයන් සහ ආසියානුවන් අතර අදින් වසර 17,000- 43,000 අතර කාලයකදී සිදුවූ ජානමය බෙදීමක් පිළිබදව ය (Keinan et al. 2009; Gutenkunst et al. 2009). නමුත් එම සොයාගැනීම් ඕස්ට්‍රේලියාව, නිව්ගිනියාව හා මෙලනීසියාව හි හමුවන  පුරාවිද්‍යාත්මක සාක්ෂි සමග ඝට්ටනය වන බව පෙනේ, එනම් අදින් වසර 50,000කට පෙර මෙම කලාපයේ මානවයා ජනාවාස ගතව සිටි බව පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ වේ (Bowler et al. 1970).

රූපය 9- Ancient DNA Map (උපුටා ගැනීම Visual DNA (visual-dna.net))
රූපය 9- Ancient DNA Map (උපුටා ගැනීම Visual DNA (visual-dna.net))

එක් ප්‍රසාරණ තරංගයකින් නොව බහුවිධ වාර හරහා කායච්ඡේදවිද්‍යාත්මකව නූතන මානවයා ලෝකය ජනාවාස කළ බව මුලින්ම යෝජනා කළේ වර්ෂ 1994 දී Lahr සහ Foley ය (Lahr & Foley 1998, 2005). ඔවුන්ගේ බහු විසුරුම් ආකෘතිය යටතේ, දකුණු අරාබිය හරහා අග්නිදිග ආසියාවට (දකුණු මාර්ගය) අදින් වසර 50,000 -100,000 කාලයේ දී මුල් විසරණයක් සිදු වූ අතර,  අදින් වසර 40,000- 50,000 කාලයේ දී උතුරු මාර්ගය ඔස්සේ ලෙවන්ට් හරහා දෙවන සංක්‍රමණය යුරේසියාවේ සෙසු ප්‍රදේශ ජනාවාසකරණයට හේතු විය. තවදුරටත් මධ්‍ය පුරාශිලායුගයට අයත් ගල් ආයුධ සමඟ අනුබද්ධ අරාබි අර්ධද්වීපයට පළමු සංක්‍රමණය සිදුවීම සහ පසුකාලීනව Levantine කොරිඩෝව හරහා යුරෝපයට ව්‍යාප්ත වීම ඉහළ පැලියෝලිතික් මෙවලම්වල පෙනුමට සමග සමකාලීන බව බැවින්, එම එක් එක් විසිරීම් වාර ඒ හා සම්බන්ධ පුරාකෘති අනුව වෙනස් වන බව ඔවුන් යෝජනා කළහ. පසුකාලීනව Field සහ Lahr විසින් සිදු කරන ලද පර්යේෂණ තුළින්, භූගෝලීය තොරතුරු පද්ධතිය පදනම් කරගත් ආකෘතියක් භාවිතා කරමින්, පාරිසරික බාධක මත අප්‍රිකාවෙන් උතුරු සහ දකුණු මාර්ග යන ද්විත්වයම භාවිත කළ හැකි බව පෙන්වීමට අදින් වසර 74,000- 159,000 දක්වා වූ දේශගුණික දත්ත උපයෝගී කරගන්නා ලදී (Field & Lahr 2005).

අග්නිදිග ආසියාවේ වූ නූතන මානවයාගේ ජනාවාසකරණය බෙහෙවින් විවාදාත්මක මාතෘකාවකි. එහි දී අවසන් ග්ලැසියර උපරිමය හා නවශිලායුගයට අයත් මුහුදු මට්ටම් විචලනය වීම අතිශය තීරණාත්මක සාධක දෙකකි. 2017 වර්ෂයේ දී කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයාගේ දන්තීන හැඩය හා චිචල්‍යතාවය පරීක්ෂා කර, එම ප්‍රදේශයේ නියෝලිතික ගොවීන්ගේ ජීවවිද්‍යාත්මක පැවැත්ම සදහා එක් ජාන සමූහයකින් නොව එකිනෙකට වෙනස් ජානවර්ග කීපයකම ආභාෂය ලැබී ඇති බව නිගමනය වී තිබේ (Corny et al. 2017).

සමාලෝචනය

පළමු හෝමෝ සේපියන්ස් මානවයාගේ මූලාරම්භය සහ සංක්‍රමණික චලනයන් හෙළිදරව් කිරීම නූතන ජනගහනයේ ජාන විවිධත්වය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රධාන වේ. එනම්, කාලයාගේ ඇවෑමෙන්, පුරාපාෂාණ විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක සහ දේශගුණික දත්ත සංශ්ලේෂණය කිරීමේදී බොහෝ විට ගැටුම් ඇති වන සංකීර්ණතා මට්ටමක් ජනනය කරයි. අවසාන දශකය තුළ සිදුවී ඇති පර්යේෂණ සැලකීමේ දී ඒවා බොහෝවිට සාධක තනිව ගෙන විශ්ලේෂණය කිරීම වෙනුවය අන්තර්විෂයාත්මක හා බහුවිෂයාත්මක ප්‍රවේශයක් භාවිත කිරීම නිරීක්ෂණය කළ හැකි ය. එනම්, අතීත සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ජානිවද්‍යාත්මක දත්ත භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. භූගෝලීය වශයෙන් සහ තාවකාලිකව නියෝජනය වන කලාපවලින් ඉහළ ආවරණයක් හෝ පැතිරීමක් සහිත aDNA සාම්පල නොමැතිකම හේතුවෙන්, බොහෝ අධ්‍යයනයන් අප්‍රිකාවෙන් පිටවීමේ න්‍යායට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා නවීන ජනගහන ආශ්‍රිත දත්ත භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. නූතන ජනගහනයෙන් බහුතරයක් මිශ්‍ර වී ඇති අතර බොහෝ අප්‍රිකානු ජනගහණයන්ට අප්‍රිකානු නොවන සම්භවයක් ලැබී ඇත්තේ නැවත අප්‍රිකාවට සංක්‍රමණය වීම නිසා මෙය අතිශයින් අභියෝගාත්මක ය. තවද, ජනගහන-විශේෂිත ප්ලාවිත බලපෑම් (population-specific drift effects) වැදගත් වනු ඇත, විශේෂයෙන්ම අප්‍රිකාවෙන් පිටතට තනි හෝ බහු විසුරුවීම් පිළිබඳ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමේදී, විශේෂයෙන් යුරෝපීයයන්ට සාපේක්ෂව නැගෙනහිර ආසියාතිකයන්ගේ ඉහළ ප්ලාවිතය ලබා දී ඇති විට, අප්‍රිකාවට සාපේක්ෂව බෙදීම් කාලය පිළිබඳ ඇස්තමේන්තු විකෘති විය හැකිය. 

අපි දැන් පිවිසෙමින් සිටින්නේ විවිධ ප්‍රදේශවලින් සහ කාල ස්ථානවලින් aDNA සාම්පල වැඩි වැඩියෙන් ලබා ගත හැකි යුගයකට ය. aDNA ප්‍රතිසාධනයේ නව ශිල්පීය ක්‍රම දියුණු කිරීම සහ දූෂණය අවම කිරීම සඳහා ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම සහ පශ්චාත් පරීක්ෂණ හානිය සඳහා පර්යේෂකයන්ට දැන් ප්‍රමාණවත් තත්ත්වයේ ජාන වෙත ප්‍රවේශ වීමට සහ වඩාත් සංකීර්ණ විශ්ලේෂණ ක්‍රමවේද සඳහා ප්‍රවේශය ඇත. මේ අනුව, මානවයා අප්‍රිකාවෙන් පිටවී ගියේ කවදාද, කුමන භූගෝලීය ප්‍රදේශයක් හරහා ද, එක වරකදී හෝ වාර කීපයකදී පිටවී ගියේ ද යන ප්‍රශ්නවලට අදාළ තොරතුරු දත්ත ලබා ගත හැකිද යන්න සොයා බැලිය යුතුය. මෙම දිගුකාලීන වාද විවාදවලින් සමහරක් විසඳීමේ අනාගත සාර්ථකත්වය සඳහා පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක දත්තවල වර්ධනය වෙමින් පවතින න්‍යායාත්මක අගයන් මෙන්ම, පෞරාණික හා නවීන ජානවල නිරීක්ෂිත රටා ඒකාබද්ධ කරන බහුවිෂයාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වනු ඇත.

කෙටි වාර්තාමය චිත්‍රපට

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ
  7. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 7: නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Alonso, S. & J.A.L. Armour. 2001. A highly variable segment of human subterminal 16p reveals a history of population growth for modern humans outside Africa. Proceedings of the National Academy of Sciences 98: 864–69. 

Armitage, S.J., S.A. Jasim, A.E. Marks, A.G. Parker, V.I. Usik & H.-P. Uerpmann. 2011a. The Southern Route “Out of Africa”: Evidence for an Early Expansion of Modern Humans into Arabia. Science 331: 453–56. 

Bae, C.J., W. Wang, J. Zhao, S. Huang, F. Tian & G. Shen. 2014. Modern human teeth from Late Pleistocene Luna Cave (Guangxi, China). Quaternary International 354: 169–83. 

Bowler, J.M., R. Jones, H. Allen & A.G. Thorne. 1970. Pleistocene human remains from Australia: A living site and human cremation from Lake Mungo, western New South Wales. World Archaeology 2: 39–60. 

Cann, R.L., M. Stoneking & A.C. Wilson. 1987. Mitochondrial DNA and human evolution. Nature 325: 31–36.

Caramelli, D. et al. 2003. Evidence for a genetic discontinuity between Neandertals and 24,000-year-old anatomically modern Europeans. Proceedings of the National Academy of Sciences 100: 6593–97. 

Cavalli-Sforza, L.L. & M.W. Feldman. 2003. The application of molecular genetic approaches to the study of human evolution. Nature Genetics 33: 266–75. 

Cavalli-Sforza, L.L., A. Piazza, P. Menozzi & J. Mountain. 1988. Reconstruction of human evolution: bringing together genetic, archaeological, and linguistic data. Proceedings of the National Academy of Sciences 85: 6002–6. 

Clark, J.D. et al. 2003. Stratigraphic, chronological and behavioural contexts of Pleistocene Homo sapiens from Middle Awash, Ethiopia. Nature 423: 747–52. 

Coon, C.S. 1962. The Origin of Races. New York: Knopf.

Corny, J. et al. 2017. Dental phenotypic shape variation supports a multiple dispersal model for anatomically modern humans in Southeast Asia. Journal of Human Evolution 112: 41–56. 

Darwin C. 1871. The Descent of Man, and Selection in Relation to Sex. London: John Murray.

Deshpande, O., S. Batzoglou, M.W. Feldman & L. Luca Cavalli-Sforza. 2009. A serial founder effect model for human settlement out of Africa. Proceedings of the Royal Society B: Biological Sciences 276: 291–300. 

Fadhlaoui-Zid, K., M. Haber, B. Martínez-Cruz, P. Zalloua, A. Benammar Elgaaied & D. Comas. 2013. Genome-Wide and Paternal Diversity Reveal a Recent Origin of Human Populations in North Africa. PLoS ONE 8: 25-26. 

Field, J.S. & M.M. Lahr. 2005. Assessment of the Southern Dispersal: GIS-Based Analyses of Potential Routes at Oxygen Isotopic Stage 4. Journal of World Prehistory 19: 1–45. 

Finlayson, C. et al. 2006. Late survival of Neanderthals at the southernmost extreme of Europe. Nature 443: 850–53. 

Forster, P. & S. Matsumura. 2005. Did Early Humans Go North or South? Science 308: 965–66. 

Frumkin, A., O. Bar-Yosef & H.P. Schwarcz. 2011. Possible paleohydrologic and paleoclimatic effects on hominin migration and occupation of the Levantine Middle Paleolithic☆. Journal of Human Evolution 60: 437–51. 

Green, R.E. et al. 2008. A Complete Neandertal Mitochondrial Genome Sequence Determined by High-Throughput Sequencing. Cell 134: 416–26. 

Groucutt, H.S. et al. 2015a. Human occupation of the Arabian Empty Quarter during MIS 5: evidence from Mundafan Al-Buhayrah, Saudi Arabia. Quaternary Science Reviews 119: 116–35. 

—. 2015b. Rethinking the dispersal of Homo sapiens out of Africa. Evolutionary Anthropology: Issues, News, and Reviews 24: 149–64. 

Grün, R. et al. 2005. U-series and ESR analyses of bones and teeth relating to the human burials from Skhul. Journal of Human Evolution 49: 316–34. 

Gutenkunst, R.N., R.D. Hernandez, S.H. Williamson & C.D. Bustamante. 2009. Inferring the Joint Demographic History of Multiple Populations from Multidimensional SNP Frequency Data. PLoS Genetics 5: 13-18. 

Hawks, J. 2001. The Y Chromosome and the Replacement Hypothesis. Science 293: 567–567. 

Henn, B.M. et al. 2011. Hunter-gatherer genomic diversity suggests a southern African origin for modern humans. Proceedings of the National Academy of Sciences 108: 5154–62. 

Horai, S., K. Hayasaka, R. Kondo, K. Tsugane & N. Takahata. 1995. Recent African origin of modern humans revealed by complete sequences of hominoid mitochondrial DNAs. Proceedings of the National Academy of Sciences 92: 532–36. 

Hublin, J.J. 2009. The origin of Neandertals. Proceedings of the National Academy of Sciences 106: 16022–27. 

Huerta-Sánchez, E. et al. 2014. Altitude adaptation in Tibetans caused by introgression of Denisovan-like DNA. Nature 512: 194–97. 

Huxley, T. 1863. Evidence as to Man’s Place in Nature. London: Williams & Norgate.

Ingman, M., H. Kaessmann, S. Pääbo & U. Gyllensten. 2000. Mitochondrial genome variation and the origin of modern humans. Nature 408: 708–13. 

Keinan, A., J.C. Mullikin, N. Patterson & D. Reich. 2009. Accelerated genetic drift on chromosome X during the human dispersal out of Africa. Nature Genetics 41: 66–70. 

Kim, H.L., A. Ratan, G.H. Perry, A. Montenegro, W. Miller & S.C. Schuster. 2014. Khoisan hunter-gatherers have been the largest population throughout most of modern-human demographic history. Nature Communications 5: 5692. 

Krings, M., A. Stone, R.W. Schmitz, H. Krainitzki, M. Stoneking & S. Pääbo. 1997a. Neandertal DNA Sequences and the Origin of Modern Humans. Cell 90: 19–30. 

Kuhn, S.L. 2013. Roots of the Middle Paleolithic in Eurasia. Current Anthropology 54: S255–68. 

Lahr, M.M. & R. Foley. 2005. Multiple dispersals and modern human origins. Evolutionary Anthropology: Issues, News, and Reviews 3: 48–60. 

Lahr, M.M. & R.A. Foley. 1998. Towards a theory of modern human origins: geography, demography, and diversity in recent human evolution. American journal of physical anthropology Suppl 27: 137–76. 

Liu, H., F. Prugnolle, A. Manica & F. Balloux. 2006. A Geographically Explicit Genetic Model of Worldwide Human-Settlement History. The American Journal of Human Genetics 79: 230–37. 

Liu, W. et al. 2010. Human remains from Zhirendong, South China, and modern human emergence in East Asia. Proceedings of the National Academy of Sciences 107: 19201–6. 

—. 2015. The earliest unequivocally modern humans in southern China. Nature 526: 696–99. 

Luis, J.R., D.J. Rowold, M. Regueiro, B. Caeiro, C. Cinnioğlu, C. Roseman, P.A. Underhill, L.L. Cavalli-Sforza & R.J. Herrera. 2004. The Levant versus the Horn of Africa: Evidence for Bidirectional Corridors of Human Migrations. The American Journal of Human Genetics 74: 532–44. 

Macaulay, V. et al. 2005. Single, Rapid Coastal Settlement of Asia Revealed by Analysis of Complete Mitochondrial Genomes. Science 308: 1034–36. 

McCarthy, R.C. & L. Lucas. 2014. A morphometric re-assessment of BOU-VP-16/1 from Herto, Ethiopia. Journal of Human Evolution 74: 114–17. 

McDermott, F., R. Grün, C.B. Stringer & C.J. Hawkesworth. 1993. Mass-spectrometric U-series dates for Israeli Neanderthal/early modern hominid sites. Nature 363: 252–55. 

McDougall, I., F.H. Brown & J.G. Fleagle. 2005. Stratigraphic placement and age of modern humans from Kibish, Ethiopia. Nature 433: 733–36. 

Meignen, L. 2012. Levantine Perspectives on the Middle to Upper Paleolithic “Transition.” Archaeology, Ethnology and Anthropology of Eurasia 40: 12–21. 

Mellars, P. 2006. Going East: New Genetic and Archaeological Perspectives on the Modern Human Colonization of Eurasia. Science 313: 796–800. 

Mellars, P., K.C. Gori, M. Carr, P.A. Soares & M.B. Richards. 2013. Genetic and archaeological perspectives on the initial modern human colonization of southern Asia. Proceedings of the National Academy of Sciences 110: 10699–704. 

Metspalu, M. et al. 2004. Most of the extant mtDNA boundaries in south and southwest Asia were likely shaped during the initial settlement of Eurasia by anatomically modern humans. BMC genetics 5: 26. 

Meyer, M. et al. 2012. A High-Coverage Genome Sequence from an Archaic Denisovan Individual. Science 338: 222–26. 

Mijares, A.S. et al. 2010. New evidence for a 67,000-year-old human presence at Callao Cave, Luzon, Philippines. Journal of Human Evolution 59: 123–32. 

O’Connell, James.F. & J. Allen. 2012. Forum The Restaurant At The End Of The Universe: Modelling the colonisation of Sahul. Australian Archaeology 74: 5–31. 

Oppenheimer, S. 2012a. Out-of-Africa, the peopling of continents and islands: tracing uniparental gene trees across the map. Philosophical Transactions of the Royal Society B: Biological Sciences 367: 770–84. 

—. 2012b. A single southern exit of modern humans from Africa: Before or after Toba? Quaternary International 258: 88–99. 

Ovchinnikov, I. v., A. Götherström, G.P. Romanova, V.M. Kharitonov, K. Lidén & W. Goodwin. 2000. Molecular analysis of Neanderthal DNA from the northern Caucasus. Nature 404: 490–93. 

Pagani, L. et al. 2015. Tracing the Route of Modern Humans out of Africa by Using 225 Human Genome Sequences from Ethiopians and Egyptians. The American Journal of Human Genetics 96: 986–91. 

Pemberton, T.J., M. DeGiorgio & N.A. Rosenberg. 2013. Population Structure in a Comprehensive Genomic Data Set on Human Microsatellite Variation. G3 Genes|Genomes|Genetics 3: 891–907. 

Petraglia, M. et al. 2007. Middle Paleolithic Assemblages from the Indian Subcontinent Before and After the Toba Super-Eruption. Science 317: 114–16. 

Pickrell, J.K. & D. Reich. 2014. Toward a new history and geography of human genes informed by ancient DNA. Trends in Genetics 30: 377–89.

Pope, K.O. & J.E. Terrell. 2007. Environmental setting of human migrations in the circum-Pacific region. Journal of Biogeography 12: 45-56. 

Prüfer, K. et al. 2014. The complete genome sequence of a Neanderthal from the Altai Mountains. Nature 505: 43–49. 

Prugnolle, F., A. Manica & F. Balloux. 2005. Geography predicts neutral genetic diversity of human populations. Current Biology 15: 159–60.

Qin, P. & M. Stoneking. 2015. Denisovan Ancestry in East Eurasian and Native American Populations. Molecular Biology and Evolution 32: 2665–74. 

Ramachandran, S., O. Deshpande, C.C. Roseman, N.A. Rosenberg, M.W. Feldman & L.L. Cavalli-Sforza. 2005. Support from the relationship of genetic and geographic distance in human populations for a serial founder effect originating in Africa. Proceedings of the National Academy of Sciences 102: 15942–47. 

Rampino, M.R. & S. Self. 1992. Volcanic winter and accelerated glaciation following the Toba super-eruption. Nature 359: 50–52. 

Reed, F.A. & S.A. Tishkoff. 2006. African human diversity, origins and migrations. Current Opinion in Genetics & Development 16: 597–605. 

Reich, D. et al. 2010. Genetic history of an archaic hominin group from Denisova Cave in Siberia. Nature 468: 1053–60. 

—. 2011. Denisova Admixture and the First Modern Human Dispersals into Southeast Asia and Oceania. The American Journal of Human Genetics 89: 516–28. 

Relethford, J.H. 2001. Absence of regional affinities of Neandertal DNA with living humans does not reject multiregional evolution. American Journal of Physical Anthropology 115: 95–98. 

Relethford, J.H. 2008. Genetic evidence and the modern human origins debate. Heredity 100: 555–63. 

Rito, T., M.B. Richards, V. Fernandes, F. Alshamali, V. Cerny, L. Pereira & P. Soares. 2013. The First Modern Human Dispersals across Africa. PLoS ONE 8: 67-96. 

Rosenberg, Karen. 2002. A late Pleistocene human skeleton from Liujiang, China suggests regional population variation in sexual dimorphism in the human pelvis. Variability and Evolution 10: 5–17.

Schlebusch, C.M. et al. 2012. Genomic Variation in Seven Khoe-San Groups Reveals Adaptation and Complex African History. Science 338: 374–79. 

Serre, D., A. Langaney, M. Chech, M. Teschler-Nicola, M. Paunovic, P. Mennecier, M. Hofreiter, G. Possnert & S. Pääbo. 2004. No Evidence of Neandertal mtDNA Contribution to Early Modern Humans. PLoS Biology 2: 57-86. 

Shea, J.J. 2001. The archaeology of an illusion: the middle-upper paleolithic transition in the Levant, in J.M. le Tenesor, R. Jagher & R. Otte (ed.) The Lower and Middle Paleolithic in the Middle East and Neighbouring Regions.: 169–82. ERAUL 126. Liége: Université de Liége.

Shi, W. et al. 2010. A Worldwide Survey of Human Male Demographic History Based on Y-SNP and Y-STR Data from the HGDP-CEPH Populations. Molecular Biology and Evolution 27: 385–93. 

Smith, T.M., P. Tafforeau, D.J. Reid, R. Grün, S. Eggins, M. Boutakiout & J.-J. Hublin. 2007. Earliest evidence of modern human life history in North African early Homo sapiens. Proceedings of the National Academy of Sciences 104: 6128–33.

Soares, P. et al. 2012a. The Expansion of mtDNA Haplogroup L3 within and out of Africa. Molecular Biology and Evolution 29: 915–27. 

Stringer, C. 1992. Replacement, continuity and the origin of Homo sapiens, in G. Brauer & F.H. Smith (ed.) Continuity or Replacement? Controversies in Homo sapiens Evolution: 9–24. Rotterdam: Balkema.

Stringer, C. 2000. Coasting out of Africa. Nature 405: 25–27. 

—. 2002. Modern human origins: progress and prospects. Philosophical Transactions of the Royal Society of London. Series B: Biological Sciences 357: 563–79. 

Stringer, C.B. & P. Andrews. 1988. Genetic and fossil evidence for the origin of modern humans. Science (New York, N.Y.) 239: 1263–68. 

Takahata, N., S.-H. Lee & Y. Satta. 2001. Testing Multiregionality of Modern Human Origins. Molecular Biology and Evolution 18: 172–83. 

Tattersall, I. 2009. Human origins: Out of Africa. Proceedings of the National Academy of Sciences 106: 16018–21. 

Templeton, A.R. 2007. Genetics and recent human evolution. Evolution; international journal of organic evolution 61: 1507–19. 

Thomson, R., J.K. Pritchard, P. Shen, P.J. Oefner & M.W. Feldman. 2000. Recent common ancestry of human Y chromosomes: Evidence from DNA sequence data. Proceedings of the National Academy of Sciences 97: 7360–65. 

Torroni, A., A. Achilli, V. Macaulay, M. Richards & H.-J. Bandelt. 2006. Harvesting the fruit of the human mtDNA tree. Trends in genetics : TIG 22: 339–45. 

Underhill, P.A. & T. Kivisild. 2007. Use of Y Chromosome and Mitochondrial DNA Population Structure in Tracing Human Migrations. Annual Review of Genetics 41: 539–64. 

Underhill, P.A. et al. 2000. Y chromosome sequence variation and the history of human populations. Nature Genetics 26: 358–61. 

Usik, V.I., J.I. Rose, Y.H. Hilbert, P. van Peer & A.E. Marks. 2013. Nubian Complex reduction strategies in Dhofar, southern Oman. Quaternary International 300: 244–66. 

Vigilant, L., M. Stoneking, H. Harpending, K. Hawkes & A.C. Wilson. 1991. African Populations and the Evolution of Human Mitochondrial DNA. Science 253: 1503–7. 

Walter, R.C. et al. 2000. Early human occupation of the Red Sea coast of Eritrea during the last interglacial. Nature 405: 65–69. 

Weidenreich, F. 1940. Some problems dealing with ancient man. American Anthropologist 42: 380–82.

Wu, X.Z. 1981. A well-preserved cranium of an archaic type of early Homo sapiens from Dali, China. Scientia Sinica 24: 530–41.

Ziętkiewicz, E. et al. 2003. Haplotypes in the Dystrophin DNA Segment Point to a Mosaic Origin of Modern Human Diversity. The American Journal of Human Genetics 73: 994–1015. 

 

 

 

මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ

මානව විවිධත්වය තරම් විද්‍යා ලෝකය තුළ අතීත, වර්තමාන හා අනාගතය යන තුන්කාලයේ දී ම එකලෙස විද්‍යාත්මකව සාකච්ඡාවට ලක්වන තවත් මාතෘකාවත් නොමැති තරම් ය. හෝමෝ සේපියන්ස්වරු මිහිමත විසූ පළමු හෝ අවසාන මානව විශේෂය වන්නේ නැත. නමුත් ඔවුන් මිහිමත දැනට වාසය කරන බුද්ධිමත්ම හා අනුවර්තිත ම ජීවී කොට්ඨාසය ලෙස අවිවාදයෙන් යුතු ව පිළිගැනේ. බොහෝ කලකට පෙර, තවත් බොහෝ මානව විශේෂ එකිනෙකට සමකාලීනව වෙනත් භූගෝලීය අන්තයන්ගේ විසිරී පැතිරී සිටියේ ය; දැනට සිදුකෙරී ඇති පර්යේෂණවලට අනුව හෝමෝ සේපියන්ස් මානවයින් මීට වසර 300,000 කට පමණ පෙර වඳ වී ගොස් ඇති මානව විශේෂ අටක් සමඟ ජීවත් වී සිට ඇත. මෑතකාලීනව, එනම් අදින් වසර 15,000 කට පමණ පෙර, අප ඩෙනිසෝවන් ලෙස හැඳින්වෙන තවත් මානව විශේෂයක් සමඟ සම වාසස්ථානයන් හි වාසය කළෙමු. එකිනෙකට වෙනස් වූ මානව විශේෂ කීයක් මිහිමත වාසය කර වද වී ගියා ද යන්න නිවැරදිව සොයා බැලීම ඉතා සංකීර්ණ කාර්යයකි, විශේෂයෙන්ම පර්යේෂකයන් හට සම්පූර්ණයෙන්ම වෙනස් සහ කලින් නොදන්නා මානව විශේෂවලට අයත් ෆොසිල සාධක, පුරාවිද්‍යාත්මක පස් ස්ථර අතරින් කලින් කලට මතු වීම, මතු දැක්වෙන කාර්යය තවත් අභියෝගාත්මක කරයි.

නමුත්, මානව පරිණාමයේ එන න්‍යාය සියල්ල සත්‍යය නම්, වර්තමානයේ දීත් වදුරන් හා වානරයින් ඉතිරි වී පවතින්නේ කෙසේ ද?

අදින් වසර ලක්ෂ ගණනකට පෙරාතුව හෝමෝ සේපියන්වරු වන අප, ලොව පුරා සංක්‍රමණය වෙමින්, පස පෙරළා බෝගවගා කරමින්, යකඩ තාක්ෂණයෙන් විප්ලව කරමින් හා ඉතාමත් මෑත කාලීනව සඳ මත පා තබද්දී, චිම්පන්සියන්, ගෝරිල්ලන් හා අනෙකුත් වදුරන් හා වානරයින් – අපගේ සමීපතම ඥාතීන් – ගස්වල රැඳී සිට, පළතුරු හා ශාක කොටස් ආහාරයට ගනිමින් තම සුපුරුදු දිවිපෙවෙත බාධාවකින් තොරව ගත කළහ. නමුත් මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ, නවීන චිම්පන්සි සතුන්, නූතන මිනිසුන්ට වඩා දිගු කාලයක් එනම්, හෝමෝ සේපියන්ස්ගේ වසර ලක්ෂ 3 හා සසඳන විට ඔවුන් අදින් වසර මිලියන 1 කට වඩා විැඩි පරිණාමය ගමන්මගකට උරුමකම් කියයි, නමුත් මිනිසුන් වන අප වසර මිලියන 6 ක් හෝ මිලියන 7 ක් තිස්සේ වෙනම පරිණාමීය ගමන් මගක් ගනිමින් සිටිමු. මානව වර්ගයා හා චිම්පන්සි සතුන් අපේ ඥාති සොහොයුරන් ලෙස සලකන්නේ නම්, අපගේ පොදු පූර්වජයා,  ඔහුගේ පරිණාමීය දරුවන්ගෙන් එක් අයෙකුට පමණක් ශිෂ්ඨත්වය ලබා දී, දෙපයින් නැගී සිටුවා, අනෙකා වර්තමානය දක්වාම වනගත හෝ භෞමික ජීවිතයක් උරුම කර දෙමින්, ශාක ආහාර වෙත හුරු කරවා අඩු පරිණාමීය ලක්ෂණ උරුම කර දුන්නේ ඇයි?

රූපය 1- මානව විවිධත්වය නිරූපණය කෙරෙන ෆොසිල මානවයින්ගේ ප්‍රතිනිර්මිත මුහුණු (උපුටා ගැනීම livescience.com වෙතිනි)
රූපය 1- මානව විවිධත්වය නිරූපණය කෙරෙන ෆොසිල මානවයින්ගේ ප්‍රතිනිර්මිත මුහුණු (උපුටා ගැනීම livescience.com වෙතිනි)

මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ පරිණාමය වීම යනු, දියුණු වීම පමණක් නොවේ. එහි දී අඩු වීම්, අතුරුදහන් වීම් හා පැහැර ගැනීම් වුවද සිදු වීමට වුවමනා තරමට වැඩි ඉඩකඩ ස්වභාවධර්මයා විසින්ම සකස් කර දී ඇත. එනම් පරිණාමය යන්න සත්‍යය වශයෙන්ම අර්ථ දැක්විය හැක්කේ ජීවීන් ඔවුන්ගේ වර්තමාන පරිසරයට අනුගත වන අයුරින් තම සංස්කෘතිය හා චර්යාව කොතරම් හොදින් ගලපගන්නවා ද? හා ඔවුන්ගේ නව අනුගත වීම් තුළින් සිදුවන සංස්කෘතිකමය හා චර්යාත්මක දියුණුව කොතරම් කායිකවිද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ ඔස්සේ නිරූපණය වනවාද යන්න ලෙස ය. මේ අනුව, පරිණාමීය විද්‍යාඥයින්ගේ අදහස් අනුව, මානවයා අනෙකුත් ප්‍රිමාටා විශේෂවලට වඩා “පරිණාමය” වී නැති අතර, නිසැකවම පරිණාමීය ක්‍රීඩාව ජයග්‍රහණය කර නැත. එසේ නම් වර්තමානයේ දී මිනිසුන් හා වානරයින් යන දෙවර්ගයම පැවතීමට හේතු ප්‍රත්‍යය කුමක් ද?

ඒ සදහා තිබිය හැක්කේ එක් සත්‍යයකි. එනම්, අතිශයින්ම මානවයා සතු අනුවර්තනය වීමේ හැකියාව තුළින් එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ පරිසරයන් හැසිරවීමට ඉඩ දෙන අතර, එම හැකියාව මිනිසුන්ව පරිණාමීය ඉණිමඟේ ඉහළින්ම තැබීමට සාධක ලෙස විද්‍යාඥයින් පෙන්වා දේ. නමුත් වර්තමානයේ ඇති වී ඇති විදග්ධ කතිකාවත තුළ දී හුවමාරු වන්නේ, පරිණාමය යන සංකල්පය බොහෝ විය මිණිය හැක්කේ තමා ජීවත් වන පරිසරයට වඩා හොදින් තම අනුවර්තන සකසා ගන්නේ කෙසේ ද විනා, තමා අවට පරිසරය තම වුවමනා එපාකම් අනුව හැඩගැස්වීමෙන් නොවන බවය. එය පරිණාමයක් නොව, ආක්‍රමණයක් ලෙස හුදෙක්ම අර්ථ දැක් වේ. එනම්, සිදුවිය යුත්තේ සියල්ල හා සියල්ල අභිබවා ශක්තිමත්ම හෝ වේගවත්ම වීම යන අදහස අප සතුව ජානමය වශයෙන් පැළ පදියම් වී ඇත, නමුත් පරිණාමීය අර්ථයකින් සිදුකළ යුත්තේ භූගෝලීය කාලරාමුව තුළ වෙනස්වන පරිසර තත්ත්වවලට අනුගත වෙමින් තම දිවිගලවා ගැනීමත්, නව පරිසර තත්ත්ව යටතේ තම වර්ගයා බෝ කිරීමත් ය.

චිම්පන්සින් හා අප එක් පොදු පූර්වජයෙකුගෙන් අපසරණය වීම මීට කදිම නිදසුන් සපයයි. වර්තමානයේ දී වුවද අප සතුව සම්පූර්ණ මානව හෝ ප්‍රිමාටා ෆොසිල වාර්තාවක් සංරක්ෂණය වී නැති අතර, ජීවවිද්‍යාඥයන් වර්තමාන ප්‍රිමාටා සතුන්ගෙන් ලබාගත් ජාන සහ චර්යාත්මක සාක්ෂි සමඟ පොසිල සාක්ෂි ඒකාබද්ධ කර වර්තමානය වන විට වඳ වී ගොස් ඇති විශේෂයන් ගැන අදහස් පළ කර ඇත. එකී විද්‍යාඥයින්ට අනුව මානව පූර්වජයා හා ප්‍රිමාටා පූර්වජයා එකිනෙකින් වෙන්කර හදුනා ගැනීමට හැකිවීම, ඔවුන් වැඩි කාලයක් භූමියේ හෝ රුක්වැසිව ගත කළ කාලය හා අනුයාත වන බවයි. බොහෝවිට මානව පූර්වජයින් වන ආහාර ප්‍රදේශ සොයායමින් සිටියා විය හැකි ය. නමුත් වානරයින්ට වඩා මානවයින් වැඩි ජීවිත කාලයක් ගත කිරීමට හේතුවූ කරුණු විද්‍යාඥයින් අනාවරණය කරමින් සිටී.

එයින් පළමුවැන්න ඔවුන්ගේ ආහාර රටාවයි. මෙතෙක් කල් ශාක තන්තුමය ආහාර හා ධාන්‍යවර්ග ආහාරයට ගනිමින් සිටි මානව පූර්වජයින් අදින් වසර මිලියන 2.6කට පෙර ශිලා මෙවලම් නිර්මාණය කර සතුන්ගේ මාංශ හා අස්ථි එකිනෙකින් වෙන් කර ගත්හ. කාලයාගේ ඇවෑමෙන් මෙම අධි ශක්තිජනක ආහාරයක් වන මාංශවල අඩංගු පෝෂ්‍ය කොටස් අවශෝෂණය කර ගැනීමට සහ ජීර්ණය කිරීමට පහසුවන පරිදි බඩවැලේ දිග ප්‍රමාණය අඩු වීමෙන්, හා මොළයේ සහ ශරීරයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් තවමත් වනාන්තරයේ ජීවත්වන ශාකභක්ෂක ඥාතීන් මෙන් නොවන ඔවුන් ශරීර ශක්තියෙන් හා දරාගැනීමේ හැකියාවෙන් ඔපවැටිණි. තවදුරටත්, පරපෝෂීතයින් ආසාදනය වූ  අමු මාංශ ආහාරයට ගැනීමේදී සංකූලතා උත්තේජනය වූ අතර, ඊට ප්‍රතිචාර ලෙස මානවයා විසින් කොලෙස්ටරෝල් ප්‍රවාහනය කරන ජානයක් වන ඇපොලිපොප්‍රෝටීන් E (Apolipoprotein E) හි අද්විතීය ප්‍රභේද පරිණාමය කළේ ය. ඒ තුළින් ආමාශගත සංකූලතා මෙන්ම, මොළයේ හා ධමනිවල වයස්ගත වීමේ බොහෝ අංශ සුවපත් කරන ලදී.

මානව පරිණාමය ජාන විද්‍යාත්මක ක්‍රම යොදාගෙන පර්යේෂණයේ නියැලෙනන්නගේ අදහස වන්නේ ApoE3 ලෙස හඳුන්වනු ලබන සියලුම නූතන මානව ජනගහනවල දක්නට ලැබෙන එක් ප්‍රභේදයක්, දළ වශයෙන් වසර 250,000කට පෙර, “අප්‍රිකාවේ හෝමෝ සේපියන්ස් පරිණාමයේ අවසාන අදියරට පෙර” මතු වූ බවය. මෙකී ApoE3 බොහෝ වයස්ගත රෝග වල අවදානම අඩු කරන අතර, විශේෂයෙන් හෘද රෝග සහ ඇල්සයිමර්, සහ වැඩි ආයු කාලයක් සමඟ ධනාත්මක ව සම්බන්ධ වේ. එම ජාන ප්‍රභේදය මානවයින් පරිභෝජනය කරන අධික මේද සහිත මස් ආහාරයෙන් ඇතිවෙන රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට එරෙහිව පැන නැගී ඇති බව විද්වතුන්ගේ මතයයි. එහි අතුරුඵලයක් ලෙස මොළයේ වර්ධනය වේගවත් කරන බව ද කියවේ.

මානව විවිධත්වය හා නව මානව විශේෂ ඇති වීම….

මිනිසුන් යනු සත්ව රාජධානියේ වඩාත්ම විවිධත්වයෙන් යුතු ජීවී කොට්ඨාසය බව අවිවාදිත ය. ඒ සදහා සාක්ෂි ලෙස, අප කරන බොහෝ රළු, අනවශ්‍ය, පරස්පර විරෝධී සහ සරලව පැහැදිලි කළ නොහැකි ක්‍රියාකාරකම් දැක්විය හැකි ය. මෙම ලිපි පෙලේ පසුගිය ලියවීම් තුළින් දැක්වූ පරිදි හෝමෝ ගණයේ පළමු සාමාජිකයා වන්නේ හෝමෝ හැබිලිස් මානවයා ය. ඉන් අනතුරුව හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියැන්ඩතාලෙන්සිස් හා අවසානයේ හෝමෝ සේපියන්ස් මානවයා ලෙස රේඛීය ගමන් මගක් කෙරෙහි අදහස් දක්වා ඇත. නමුත්, එහි සැගවූ සත්‍යය වන්නේ එකී ප්‍රධාන මානව වර්ගවලට අමතරව තවත් මානව වර්ග රාශියක් අතීතයේ දී මෙන් ම, වර්තමානයේ දී ද නාමකරණය කර ඇති බවය. ඒවා වඩා ජනප්‍රිය නොවීමට හේතුව වන්නේ එම මානව විශේෂ, ප්‍රධාන මානව විශේෂ දෙකක් අතර අතරමැදි පරිණාමීය ලක්ෂණ එනම්, ජනප්‍රිය ලක්ෂණවල ශේෂ වූ සාධක හෝ නව ලක්ෂණයක අංකුර දැරීම ය. මෙම ලිපියේ එවැනි මානව විශේෂ කීපයක් පිළිබද ව සංක්ෂිප්තව කරුණු දැක්වීමට බලාපොරොත්තු වේ.

හෝමෝ රුඩොල්ෆනේසිස් මානවයා Homo rudolfensis

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 1986
  • ජීවත් වූ ස්ථානය: නැගෙනහිර අප්‍රිකාව (උතුරු කෙන්යාව, උතුරු ටැන්සානියාව සහ මලාවි)
  • ජීවත් වූ කාලය: වසර මිලියන 1.9 සිට මිලියන 1.8 කට පමණ පෙර

මෙම මානව විශේෂය සතු ඇත්තේ හොදින් සංරක්ෂණ වූ එක් ෆොසිලයක් පමණි: එය KNM-ER 1470 ලෙස නම්කර ඇති අතර, කෙන්යාවේ තුර්කානා විලෙහි කූබි ෆෝරා වෙතින් අනාවරණය කරගෙන ඇත. එහි වන එකම තීරණාත්මක ලක්ෂණය ලෙස, කපාල ධාරිතාවය ඝන සෙන්ටිමීටර 775ක් වන අතර, එය හෝමෝ හැබිලිස් මානවයාට වඩා සැලකිය යුතු ලෙස ඉහළින් පවතී. මුල් අර්ථකථනයේ දී මුලින් හෝමෝ හැබිලිස් නිදර්ශකයක් ලෙස සලකනු ලැබූ අතර, රුඩොල්ෆෙන්සිස් වෙනස් වන්නේ ඔහු සතු විශාල මොළය, දිගු මුහුණ සහ විශාල චාර්වක හා පුරස් චාර්වක දත් මගිනි. කෙසේ වෙතත්, අවසාන ලක්ෂණ දෙක නිසා, සමහර විද්‍යාඥයන් තවමත් අදහස් දක්වන්නේ මෙම විශේෂය විශාල මොළයක් ඇති නමුත්, තවමත් ඔස්ට්‍රලෝපිතෙකස් ගණයෙහි ලා සැලකිය හැකිද යන්නයි!

රූපය 2- නව මානව විශේෂයක් වන හෝමෝ රුඩොල්ෆනේසිස් මානවයාට අයත් ෆොසිලයක් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 2- හෝමෝ රුඩොල්ෆනේසිස් මානවයාට අයත් ෆොසිලයක් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

වර්ෂ 1972 දී රිචඩ් ලීකිගේ පර්යේෂණ කණ්ඩායම විසින් රුඩොල්ෆ් විල (වර්තමානයේ ටර්කානා විල ලෙස හැඳින්වේ) ආසන්නයේ හෝමෝ රුඩොල්ෆෙන්සිස් ෆොසිල සොයා ගැනීමෙන් පසුව රුසියානු විද්යාඥ වී.පී. ඇලෙක්සීව් විසින් 1986 දී මෙම විශේෂය මුල්කාලීනව Pithecanthropus rudolfensis ලෙස නම් කරන ලද නමුත් පසුව හෝමෝ ගණයට උසස් කරන ලදී. හෝමෝ හැබිලිස් හා සසඳන විට හෝමෝ රුඩොල්ෆෙන්සිස් හට විශාල සහ පළල් ආකාර දත් ඇත. ඔවුන්ගේ දත් ශක්තිමත් ඔස්ට්‍රලෝපිතකස් ෆොසිලවල දක්නට ලැබෙන ඒවාට වඩා මදක් කුඩා වූ අතර, හෝමෝ හැබිලිස් තුළ දක්නට ලැබෙන දැඩි ලෙස ගොඩනඟන ලද හකු සහ ශක්තිමත් හකු මාංශ පේශී බැඳීම් නොතිබුණි. මෙම ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම් කෙරෙන් හෝමෝ රුඩොල්ෆෙන්සිස් සහ වඩා ශක්තිමක් හැපීමේ හැකියාවක් තිබූ පෙර ඔස්ට්‍රලෝපිතිකස් විශේෂ අතර විවිධ වූ  ආහාර රටාවක් පෙන්නුම් කළේ ය.

අනෙකුත් මුල් හෝමෝ විශේෂ මෙන්ම හෝමෝ රුඩොල්ෆෙන්සිස් ද ඔවුන්ගේ ආහාර සැකසීමට ගල් ආයුධ භාවිතා කරන්නට ඇත. කෙසේ වෙතත්, මෙවලම් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ වූ කාලයේ මුල් මානව වර්ග එකකට වඩා වැඩි ගණනක් ජීවත් වූ බැවින්, පළමු ගල් මෙවලම් සෑදීමට සහ භාවිතා කිරීමට වගකිව යුත්තේ කුමන විශේෂද යන්න විද්‍යාඥයින්ට නිශ්චිතව පැවසීමට අපහසුය. හෝමෝ රුඩොල්ෆෙන්සිස් ෆොසිල හා සමාන ස්ථරවල දැනට ශිලා මෙවලම් හමු වී නැත, නමුත් හෝමෝ රුඩොල්ෆෙන්සිස් ජීවත් වූ එම කාල වකවානුවටම කාලනිර්ණ වී පවතින ශිලා මෙවලම් තිබේ. නමුත්, හෝමෝ රුඩොල්ෆෙන්සිස් සහ හෝමෝ හැබිලිස් ඇත්ත වශයෙන්ම වෙනස් මානව විශේෂද, නැතහොත් ඔවුන් තනි, විචල්‍ය විශේෂයක කොටසක්ද? එකිනෙකාගෙන් ව්‍යුත්පන්න වූ පූර්වජයින්ද යන පැන වර්තමානය දක්වාම නොවිසදී පවතී.

හෝමෝ ඇන්ටිසෙසර් මානවයා Homo antecessor

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 1994
  • ජීවත් වූ ස්ථානය: යුරෝපය
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර ලක්ෂ 8කට පමණ පෙර

1994 සිට 1996 දක්වා ග්‍රාන් ඩොලීනා (Gran Dolina) පුරාක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු අතරතුර, ස්පාඤ්ඤ පර්යේෂණ කණ්ඩායමක් විසින් දළ වශයෙන් වසර 800,000 කට පෙර ජීවත් වූ ආදි මානවයින් හය දෙනෙකුට අයත් ෆොසිල අවශේෂ සොයා ගත්හ (Carbonell et al., 1999; López-Polín et al., 2017). මෙම මානව විශේෂයේ දත් හෝමෝ ඉරෙක්ටස්ගේ දත් මෙන් ප්‍රාථමික වූ නමුත් මුහුණේ අංග – විශේෂයෙන් නාසික කලාපයේ හැඩය සහ රදනක දතට ඉහළින් මුහුණේ අවපාතයක් පැවතීම – නූතන මිනිසුන්ගේ ලක්ෂණ වලට සමාන ය (Bermúdez-de-Castro et al., 2017; Welker et al., 2020). මෙකී නවීන සහ ප්‍රාථමික ගතිලක්ෂණවල අද්විතීය මිශ්‍රණය 1997 වසරේ දී නව මානව විශේෂයක් ලෙස හෝමෝ ඇන්ටිසෙසර් නම් කිරීමට හේතු විය (Bermúdez de Castro et al., 1997). 2008 වසරේ දී ස්පාඤ්ඤයේ අටප්‍යුරේකා හි සිමා ඩෙ එළිෆන්ටෙ ගුහාවෙන් (Sima del Elefante, Atapuerca) සොයාගත් අර්ධවශයෙන් සංරක්ෂණය වූ යටි හකු මෙන්ම වසර මිලියන 1.2 කට පමණ ස්ථරයකින් හමුවූ ශිලා මෙවලම් ආධරයෙන් හෝමෝ ඇන්ටිසෙසර් ජීවත් වූ කාලය දිර්ඝ කිරීමට හැකිවිය. හෝමෝ ඇන්ටිසෙසර් ෆොසිල පිළිබද ස්පාඤ්ඤයෙන් පිටත හමුවන එකම සාක්ෂිය වන්නේ පැරණි බටහිර පුරාවිද්‍යා භූමියක් වන Happisburgh හි තිබී සොයාගත් වසර 800,000කට පමණ කාලනිර්ණය කල හැකි ශිලා මෙවලම් ය. මෙම මානව විශේෂය තවමත් අප්‍රිකාවෙන් සොයා ගෙන නැතත්, හෝමෝ ඇන්ටිසෙසර් සඳහා අප්‍රිකානු සම්භවයක් තිබිය යුතු ය. තවද, පර්යේෂකයන් පවසන්නේ නූතන මිනිසුන්ගේ සෘජු පූර්වගාමියා ලෙස සැලකෙන හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් (H. heidelbergensis) නූතන මානවයාට වඩා නියැන්ඩතාල් මානවයාට සමාන ලක්ෂණ දරන බවත්, හෝමෝ ඇන්ටිසෙසර් විසින් හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් හට පරිණාමීය ලක්ෂණ උරුමකර දුන් බවත්, ඒ අනුව නියැන්ඩතාල්වරුන්ගේ ආදිතම මූල, හෝමෝ ඇන්ටිසෙසර් කෙරෙහි රදාපවතින බවත් ය (Arzarello et al., 2007).

රූපය 3 – හෝමෝ ඇන්ටිසෙසර් මානවයාට අයත් යැයි සැලකෙන ෆොසිලයක් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

නමුත් හෝමෝ ඇන්ටිසෙසර්ට අයත් යැයි අනාවරණය කරගෙන ඇති ෆොසිල බොහෝමයක් වැඩිහිටි තත්වයේ නොව ළමා හෝ තරුණ අවධියේ පසුවූ අයගේ වෙයි. ග්‍රෑන් ඩොලිනාහිදී හමුවූ පුද්ගලයන් හය දෙනාගෙන් අවුරුදු 20ක් පමණ වයසැති වැඩිහිටියන් යැයි සැලකෙන්නේ දෙදෙනෙක් පමණි (Carbonell et al., 2008; Rosell et al., 2017). එනයින් පුරාමානවවිද්‍යාඥයින්ගේ අදහස වන්නේ හෝමෝ ඇන්ටිසෙසර් යනු නූතන මානවයාගේ ම තරුණ අවධිය නිරූපණය කරන්නක් විය හැකි බවයි. එනම් ඔවුන් වැඩිවිය පැමිණෙන විට ශාරීරික ලක්ෂණ වෙනස් වීම ඉන් අදහස් කෙරේ. එනයින් හෝමෝ ඇන්ටිසෙසර්ට අයත් වැඩිහිටි මානව ෆොසිල අනාවරණය කරගන්නා තෙක් එම ගැටළුව නොවිසදී පවතිනු ඇත.

රූපය 4 - හෝමෝ ඇන්ටිසෙසර් මානවයාට අයත් යැයි සැලකෙන හකු අස්ථියක් හා දත් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 4 – හෝමෝ ඇන්ටිසෙසර් මානවයාට අයත් යැයි සැලකෙන හකු අස්ථියක් හා දත් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයා Homo heidelbergensis

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 1908
  • ජීවත් වූ ස්ථානය: යුරෝපය, ආසියාව, නැගෙනහිර හා දකුණු අප්‍රිකාව
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර ලක්ෂ 7කට පමණ පෙර

1908 දී ජර්මනියේ හයිඩෙල්බර්ග් නගරයේ දී, කම්කරුවෙකු විසින් හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් වර්ගයේ නිදර්ශකයක් මුවර් ගම්මානයට උතුරින් පිහිටි රොෂ් වැලිනිධියෙන් සොයා ගන්නා ලදී. මෙම හකු අස්ථියේ පුරස්චාර්වක දත් හා සහ පළමු වම් චාර්වක දත් දෙක හැරණුවිට අංගසම්පූර්ණ නිදර්ශකයක් විය; ජර්මානු මානවවිද්‍යාඥ Otto Schoentensack මෙම නිදර්ශකය මුලින්ම අධ්‍යනය කළ අතර හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් යන විශේෂ නාමය යෝජනා කළේය. මෙම විශේෂය නම් කිරීමට පෙර, විද්‍යාඥයන් විසින් හෝමෝ ඉරෙක්ටස් සහ නූතන මානවයන් යන දෙඅංශයටම සමාන ලක්ෂණ පෙන්නුම් කරන බැවින් නිදර්ශකය පෞරාණික හෙවත් මුල්කාලීන හෝමෝ සේපියන්ස් ලෙස හැඳින්වූහ. හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් ෆොසිල හමුවන පැරණිතම ස්ථානය ඉතියෝපියාවේ බෝඩෝ ක්ෂේත්‍රයයි (අදින් වසර ලක්ෂ 6). යුරෝපයේ හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් නිදර්ශක සොයාගත් ක්ෂේත්‍ර ගණනාවක් ඇත (උදා: Steinhei) ඒවා අදින් වසර ලක්ෂ 5 තරම් ඈත අතීතයේ සිට ස්පාඤ්ඤයේ සිට නැගෙනහිර යුරෝපය දක්වා විහිදේ. වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ස්පාඤ්ඤයේ අටප්‍යුරේකා කඳුකරයේ සිමා ඩි ලොස් හියුසෝස් (Sima de los Huesos) ක්ෂේත්‍රයෙනි. චීනයේ ඩාලි මිනිසා ඇතුළු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් විශේෂයේ නියෝජිතයන් ලෙස ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන පුරාක්ෂේත්‍ර කිහිපයක් ආසියාවේ ඇත. උතුරු අප්‍රිකාවේ Jebel Irhoud; නැගෙනහිර අප්‍රිකාවේ Omo, Bodo, Ndutu, Eyasi සහ Ngaloba; සැම්බියාවේ Kabwe; සහ දකුණු අප්‍රිකාවේ Florisbad සහ Elandsfontein ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන වේ.

රූපය 5 - හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන හිස්කබලක්- අප්‍රිකා මහද්වීපයේ සැම්බියාවෙන් හමු වූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ. (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 5 – හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන හිස්කබලක්- අප්‍රිකා මහද්වීපයේ සැම්බියාවෙන් හමු වූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ. (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

සාමාන්‍යයෙන්, හෝමෝ හයිඩෙල්බර්ගෙන්සිස් , හෝමෝ ඉරෙක්ටස්ට වඩා හිස්කබල සහ පශ්චාත් හිස්කබල යන දෙඅංශයෙන්ම අඩු ශක්තිමතියකින් යුතු වූ අතර නූතන මානවයාට වඩා ශක්තිමත් විය. හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මූලික වශයෙන් එහි කපාල ධාරිතාව (1100–1400 cc) සහ හිස් කබලේ නවීන හැඩය මගින් ඉරෙක්ටස් මානවයාගෙන් වෙන්කර හඳුනාගත හැකිය. මස්තිෂ්ක ප්‍රසාරණය, විශේෂයෙන් ප්‍රාචීර කොටස්, හිස් කබලේ ඉහළ කොටසේ හිස් කබලේ පළල වැඩි කිරීමට හේතු වූ අතර එමඟින් වඩාත් සිරස් අතට යොමු වූ හිස් කබලක් ඔහුට උරුම වී ඇත. මාංශ පේශිවල ශක්තිමත් බව අඩු වීම නිසා හිස්කබලේ ඔක්සිපිටල් කලාපය අඩු කෝණික අගයක් ගනී. සමහර නිදර්ශකවල ඉතා උච්චාරණය කරන ලද ඇහිබැමි නිරීක්ෂණය කළ හැකි ය. විශේෂයෙන් ම දන්ත සංයෝජනය සලකා බැලීමේ දී රදනක දත් ආශ්‍රිතව ඇති පසුබැසීම අනෙකුත් මානව විශේෂවලට වැඩිපුර කැපී පෙනේ, එමගින් ඔවුන් ඔවුන්ගේ මුඛය සහ දත්, මෙවලම් ලෙස භාවිතා කළ බව හැගවේ  නිදසුනක් ලෙස, අස්ථි හා මාංශ වෙන් කරගැනීමට රදනක දත් උපයෝජනය කිරීම දැක්විය හැකි ය. එක් ෆොසිල නිදර්ශකයක මැද කණ අස්ථිය සොයා ගන්නා ලද අතර එමඟින් ඔවුන්ගේ ශ්‍රවණ හැකියාව අප මානව වර්ගයා සමඟ සැසඳිය හැකි බව තීරණය වී ඇත.

රූපය 6 - හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන ෆොසිලයක්- ජර්මනියේ හයිඩ්ල්බර්ග් නගරයෙන් හමුවූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 6 – හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන ෆොසිලයක්- ජර්මනියේ හයිඩ්ල්බර්ග් නගරයෙන් හමුවූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)ො

ඩෙනිසෝවන් මානවයා Denisovan Man

ඩෙනිසෝවන් මානව විශේෂය අර්ථ දක්වනු ලබන්නේ සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාවෙන් ලද ෆොසිලීකරණය වූ මානව ඇගිලි පුරුක් ආශ්‍රයෙනි. විද්‍යාඥයින්ට අනුව, කුඩා ගැහැණු දරුවකුට අයත් වූ එම ඇගිලි පුරුක, අදින් වසර 90,000 කට කාලනිර්ණය කළ හැකි අතර, එම දරුවා දෙමුහුන්කරණයෙන් එනම්, මව නියැන්ඩතාල් විශේෂයකට අයත් ලෙසද, පියා ඩෙනිසෝවන් මානව විශේෂයකට අයත් බව නිගමනය කෙරිණි (Slon et al., 2018). විශේෂයෙන් මෙම අල්ටායි කලාපය සහ එම ගුහාව නියැන්ඩර්තාල්වරුන්ගේ නිවහනක් ලෙස ප්‍රසිද්ධ ය. මෙම ෆොසිල නිදර්ශකය පළමුවරට හදුනාගන්නේ 2008 වසරේ දී වන අතර, ජාන තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකරන ලද පර්යේෂණ තුළින් එම මානව විශේෂය නූතන මානව හෝ නියැන්ඩතාල් මානව ජාන වෙත සමීප නොවීම හේතුවෙන් වෙනම මානව විශේෂයක් ලෙස ඩෙනිසෝවා ගුහාව මූලික කරගනිමින් ඩෙනිසෝවන් මානවයා යන නම් තැබී ය (Krause et al., 2010). එහිදී සිදුකරන ලද වැඩිදුර පර්යේෂණවල දී එම අස්ථියේ DNA කොටස් වලින් 40%ක් පමණ නියැන්ඩර්තාල් DNA වලට ගැලපුණු අතර, තවත් 40%ක් ඩෙනිසෝවන් ජාන සමග ගැලපේ. ලිංගික වර්ණදේහ (sex chromosomes) අනුපිළිවෙල සලකා බලා පර්යේෂකයන් විසින් මෙම අස්ථි කොටස පැමිණියේ ගැහැණු ළමයෙකුගෙන් බව තීරණය කළ අතර, අස්ථියේ ඝනකම අනුව ඇයගේ වයස අවුරුදු 13 ක් වත් විය යුතු බව තීරණය කරන ලදී (Brown et al., 2016; Fu et al., 2015).

රූපය 7 - මානව පරිණාමීය ගමන් මගේ ඩෙනිසෝවන් මානවයාගේ ස්ථානගත වීම (උපුටාගැනීම - nationalgeographic.com වෙතිනි)
රූපය 7 – මානව පරිණාමීය ගමන් මගේ ඩෙනිසෝවන් මානවයාගේ ස්ථානගත වීම (උපුටාගැනීම – nationalgeographic.com වෙතිනි)

රූපය 8 - ඩෙනිසෝවා ගුහාවෙන් සොයාගත් චාර්වක දත අදින් වසර 50 000කට පෙර ජීවත් වූ කාන්තාවකට අයත් යැයි සැලකේ (උපුටාගැනීම - nationalgeographic.com වෙතිනි)
රූපය 8 – ඩෙනිසෝවා ගුහාවෙන් සොයාගත් චාර්වක දත අදින් වසර 50 000කට පෙර ජීවත් වූ කාන්තාවකට අයත් යැයි සැලකේ (උපුටාගැනීම – nationalgeographic.com වෙතිනි)

රූපය 9 - ඩෙනිසෝවා ගුහාවේ පුරාවිද්‍යාත්මක කැණීම් අතරතුර (උපුටාගැනීම - nationalgeographic.com වෙතිනි)
රූපය 9 – ඩෙනිසෝවා ගුහාවේ පුරාවිද්‍යාත්මක කැණීම් අතරතුර (උපුටාගැනීම – nationalgeographic.com වෙතිනි)

රූපය 10 - ඩෙනිසෝවා අවශේෂ අයත් යැයි සැලකෙන කුඩා ගැහැණු දරුවාගේ කායවිලාසය ප්‍රතිනිර්මාණය (උපුටාගැනීම - nature.com වෙතිනි)
රූපය 10 – ඩෙනිසෝවා අවශේෂ අයත් යැයි සැලකෙන කුඩා ගැහැණු දරුවාගේ කායවිලාසය ප්‍රතිනිර්මාණය (උපුටාගැනීම – nature.com වෙතිනි)

මෙම තොරතුරු තර්කානුකූලව විශ්ලේෂණය කර බලන විට, ඩෙනිසෝවන් සහ නියැන්ඩතාල් DNA සමාන ප්‍රමාණවලින් අන්තර්ගත වීම ආකාර දෙකකට විස්තර කළ හැකි ය. ඉන් පළමුවැන්න නම් මෙම කුඩා ගැහැණු දරුවාගේ මව්පියන් ඩෙනිසෝවන් හා නියැන්ඩතාල් මානවයින් විය හැකි ය. දෙවැන්න නම්, එම මව්පියන් ද ඩෙනිසෝවන්-නියැන්ඩර්තාල් දෙමුහුන් ගහනයකට අයත් විය හැකිය (Warren, 2018). එම කරුණ තහවුරු කිරීම සදහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.

රූපය 11 – 2010 වර්ෂයේ දී ටිබෙට් සානුවෙන් අනාවරණය කරගත් ඩෙනිසෝවා හකු අස්ථිය අදින් වසර 160 000ක් පමණ පැරණි යැයි සැලකේ (උපුටාගැනීම - nature.com වෙතිනි)
රූපය 11 – 2010 වර්ෂයේ දී ටිබෙට් සානුවෙන් අනාවරණය කරගත් ඩෙනිසෝවා හකු අස්ථිය අදින් වසර 160 000ක් පමණ පැරණි යැයි සැලකේ (උපුටාගැනීම – nature.com වෙතිනි)

හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා   Homo floresiensis

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 2003
  • ජීවත් වූ ස්ථානය: ආසියාව (ඉන්දුනීසියාව)
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර 100,000 – 50,000කට පෙර

මෑතකදී සොයා ගන්නා ලද මුල් මානව විශේෂවලින් එකක් වන හෝමෝ ෆ්ලොරෙන්සිස් (‘Hobbit’ යන අන්වර්ථ නාමය) ගේ අවශේෂ මෙතෙක් හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් (Flores) දූපතෙන් පමණි. හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයාගේ ෆොසිල දළ වශයෙන් වසර 100,000 ත් 60,000 ත් අතර කාලයකට පෙර දිවෙන අතර, මෙම විශේෂය විසින් සාදන ලද ශිලාමෙවලම් වසර 190,000 ත් 50,000 ත් අතර පැරණි වේ. හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් දළ වශයෙන් අඩි 3 යි අඟල් 6 ක් උසකින් යුක්ත වූ අතර, කුඩා මොළයක්, ඔවුන්ගේ කුඩා ප්‍රමාණයට සාපේක්ෂව විශාල දත්, උරහිස් පුළුල් නොවූ, නිකට මොට වූ, නළල පහතට වැටුණු සහ කෙටි කකුල් හා සාපේක්ෂව විශාල පාද තිබූ බව ෆොසිල නිදර්ශක ඇසුරේ නිරීක්ෂණය කල හැකි ලක්ෂණ අතර විය. හමුවන පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යාත්මක සංස්කෘතික අවශේෂ අනුව, ඔවුන් කුඩා ශරීර ප්‍රමාණ්ය හා කපාල ධාරිතාව නොසලකා ශිලා මෙවලම් භාවිතා කළේය, කුඩා අලි ඇතුන් සහ මීයන් දඩයම් කළේය, යෝධ කොමෝඩෝ මකරුන් වැනි විලෝපිකයන් සමඟ සහවාසීව ජීවත් වූ අතර, ගින්දර සාර්ථකව භාවිතා කර ඇත.

රූපය 12 – හෝමෝ ෆ්ලොරෙන්සිස් අස්ථි සැකිල්ලක් (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 12 – හෝමෝ ෆ්ලොරෙන්සිස් අස්ථි සැකිල්ලක් (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයාගේ උස සහ සාපේක්ෂව අඩුඅගයක් ගන්නා කපාල ධාරිතාවය, සීමිත ආහාර සම්පත් සහ විලෝපිකයන් නොමැති කුඩා දූපතක දිගු කාලීන හුදකලා වීමේ ප්‍රතිඵලයක් වන පරිණාමීය ක්‍රියාවලියක් ලෙස සැලකෙන දූපත් වාමනවාදයේ (Island Dwarfism) ප්‍රතිඵලයක් විය හැකිය. වර්තමානයේ දී වඳ වී ගොස් ඇති ෆ්ලෝරස් දූපතේ විසූ පිග්මි අලි ද එම අනුවර්තනය පෙන්නුම් කළහ. කුඩාම හෝමෝ සහ ස්ටෙගොඩන් (Stegodon) අලි විශේෂ දෙකම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ දක්නට ලැබේ. කෙසේ වෙතත්, වර්තමානයේ දී විද්‍යාඥයන් සලකා බලමින් සිටින්නේ හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයාගේ මුතුන් මිත්තන් පළමු වරට ෆ්ලෝරස් දූපත වෙත ළඟා වන විටත් මෙම ශරීර ප්‍රමාණයෙන් ම යුතු වූවේද යන්නයි.

මෙම පර්යේෂණ මාලාව දියත් කරන්නේ ඉන්දුනීසියානු-ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් වන අතර,එහි ප්‍රතිඵලයක් ලෙස අදින් වසර 80,000කට පමණ පෙර ජීවත් වූ කුඩා මිනිසෙකුගේ සම්පූර්ණ කාන්තා ඇටසැකිල්ලක් (LB-1) ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ ලියාං බුවා (Liang Bua) ගුහාවෙන් සොයා ගන්නා ලදී. ඇටසැකිල්ලේ ඇති කුඩා ශරීර ප්‍රමාණය හා කපාල ධාරිතාවය වැනි සුවිශේෂි ලක්ෂණ නිසා විද්‍යාඥයන් විසින් ඇටසැකිල්ල එය සොයාගත් දූපත අනුව නම් කර, විශේෂ නාමය Homo floresiensis නම් නව විශේෂයකට පැවරීමට හේතු විය.

රූපය 13 – හෝමෝ ෆ්ලොරෙන්සිස් හා නූතන මානවයකුගේ පාද අස්ථි සංසන්දනය (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 13 – හෝමෝ ෆ්ලොරෙන්සිස් හා නූතන මානවයකුගේ පාද අස්ථි සංසන්දනය (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

මෙම පළමු සොයාගැනීමේ සිට, හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් 12 දෙනෙකු නියෝජනය කරන අස්ථි සහ දත් Liang Bua ගුහාවෙන් සොයා ගෙන ඇත – එය හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් මෙතෙක් සොයාගෙන ඇති එකම ස්ථානයයි. හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් හා සම්බන්ධ සොයාගැනීම් වලින් වැඩි ප්‍රමාණයක් වසර 100,000 ත් 60,000 ත් අතර කාලයකට පෙර දිවෙන අතර, මෙම විශේෂය විසින් සාදන ලද ගල් මෙවලම් වසර 190,00 ත් 50,000 ත් අතර කාලයකට අයත් බව විද්‍යාඥයින්ගේ අදහසයි. ෆ්ලෝරස් දූපතෙන් හමුවූ ශිලා මෙවලම්වලින් පෙනී යන්නේ මුල් මානව පූර්වජයින් අවම වශයෙන් අදින් වසර මිලියනයකට පමණ පෙර එහි පැමිණි බවයි, නමුත් ආසන්නතම දූපත මුහුද හරහා කිලෝමීටර 9 ක් (සැතපුම් 6) දුරින් පිහිටා ඇති බැවින් මුල් මිනිසුන් එහි පැමිණියේ කෙසේදැයි තවමත් නොදනී. පුරාමානව විද්‍යාඥයින් විසින් හෝමෝ ෆ්ලොරෙන්සිස් හා සම්බන්ධ බොහෝ ශිලා මෙවලම් සොයා ගෙන ඇති අතර, මෙම මෙවලම් Flores හි සහ මානව පරිණාමීය පඨීතය (එනම්, ආසියාවේ පහළ පැලියොලිතික් මෙවලම් හෝ අප්‍රිකාවේ Oldowan මෙවලම්) කලින් සොයාගත් ඒවාට පුළුල් ලෙස සමාන වේ. හෝමෝ ෆ්ලොරෙන්සිස් ස්ථර ආශ්‍රිතව Stegodon අස්ථි කොටස් සිය ගණනක් දක්නට ලැබෙන අතර මෙම Stegodon අස්ථිවලින් සමහරක් මත සීරුම් සලකුණු පෙන්නුම් කරන හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා විසින් Stegodon සතුන් දඩයම් කළ බවට නිගමනය කළ හැකි ය (Kaifu et al., 2015).

වර්තමානය වන විට මානව පරිණාමය පිළිබද විදග්ධ කතිකාවතේ එක් ප්‍රධාන තේමාවක් ලෙස, මෙකී LB-1 ලෙස හැදින්වෙන හෝමෝ ෆ්ලොරෙන්සිස් නිදර්ශකය, කිසියම් රෝගයක් හෝ වර්ධන අක්‍රමිකතාවක් ඇති නූතන මානවයෙකු නියෝජනය කළ හැකිද යන්න පිළිබඳව සැලකිය යුතු විද්‍යාත්මක විවාදයක් පැවතියද, බොහෝ විද්‍යාඥයන් හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා මානව වර්ගීකරණයට ඇතුළත් කර ඇති අතර, අමතර ව  නූතන හෝමෝ සේපියන් මානවයින්ට වඩා රූපවිද්‍යාත්මකව වෙනස් මානව විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. ඊට සමගාමී ව හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා හෝමෝ ගණයේ අනෙකුත් විශේෂවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න නිවැරදිව සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සාහ කරමින් සිටිති. උදාහරණයක් ලෙස, හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා පරිණාමය වූයේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පෙර ජනගහණයකින්ද, නැතහොත් Dmanisi (ජෝර්ජියාවේ) සිට හමු වූ මුල් මානවයන් වැනි කුඩා විශේෂයකින් හෝ සමහර විට හෝමෝ ගණයේ වෙනත් මුල් විශේෂයකින් පරිණාමය වූවාද? යන්න පිළිබදව නූතන විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ සාක්ෂි හඹා යාම වර්තමානයේ දී ත් සිදුවේ.

හෝමෝ ලූසොනෙන්සිස්  Homo luzonensis

ශරීර ප්‍රමාණයෙන් කුඩා පැරණි මානව විශේෂයක් වන හෝමෝ ලුසොනෙන්සිස් 2004 වර්ෂයේ දී පිලිපීනයේ කැලාඕ (Callao Cave) ගුහාවෙන් අනාවරණය කරගැනුණු ෆොසිල නිදර්ශක මත විස්තර කර ඇත (Détroit et al., 2019). එවකට අග්නිදිග ආසියාවේ ෆ්ලෝරස් දූපතේ කුඩා මානව විශේෂයක් ජීවත් වීමේ සම්භාවිතාව පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කළ බැවින් හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා මානව පරිණාමීය කතිකාවත උණුසුම් කළේ ය. ඒ් ඇසිල්ලේ ම මෙම නවතම හෝමෝ ලුසොනෙන්සිස් සොයාගැනීම එම ආඛ්‍යානය පෝෂණය කළේ ය. මේ පිළිබද ව අධ්‍යනය කරන ලද පර්යේෂකයන් විසින් කැලාඕ ගුහාවේ අවසාදිත ඇසුරෙන් අදින් වසර 67,000 කට පමණ කාලනිර්ණය කරන ලද, අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකුගෙන් අස්ථි 13 ක් අනාවරණය කරගෙන ඇත. මෙම අවශේෂ මත පදනම්ව සිදුකරන ලද ප්‍රමාණන විශ්ලේෂණ අනුව ලූසොනෙන්සිස් මානවයා ශරීර ප්‍රමාණයෙන් කුඩා නමුත්, හෝමෝ ෆ්ලොරෙන්සිස් තරම් කුඩා නොවන බව ය (Mijares et al., 2010).

රූපය 14 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ ඇගිලි අස්ථියක් (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 14 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ ඇගිලි අස්ථියක් (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

රූපය 15 – හෝමෝ ලුසොනෙන්සිස් ෆොසිල අනාවරණය කරගත් පිලිපීනයේ ලූසොන් ගුහාව (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 15 – හෝමෝ ලුසොනෙන්සිස් ෆොසිල අනාවරණය කරගත් පිලිපීනයේ ලූසොන් ගුහාව (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

හෝමෝ ලුසොනෙන්සිස් නූතන මානවයින්ට යම් භෞතික සමානකම් දරයි, නමුත් අනෙකුත් ලක්ෂණ අනුව වසර මිලියන දෙකත් හතරත් අතර කාලයකට පෙර අප්‍රිකාවේ ජීවත් වූ ඔස්ට්‍රලෝපිතෙකස් හා අර්ධ ද්විපාදකරණීකරණය වූ වානර මානවයින් මෙන්ම හෝමෝ කුලයට අයත් මුල්ම පූර්වජ ලක්ෂණ ද අඩුවැඩි වශයෙන් දරයි. ඇඟිලිවල වක්‍ර වී ඇති අස්ථි, කඳු නැගීම මෙම විශේෂයට වැදගත් ක්‍රියාකාරකමක් බව යෝජනා කරයි. සමහර ඔස්ට්‍රලෝපිතෙකස් විශේෂවල ද මෙම ලක්ෂණය නිරීක්ෂණය කළ හැකි ය. ඔස්ට්‍රලෝපිතෙකස් විශේෂවලට අග්නිදිග ආසියාවට ළඟා වීමට හැකි වූවා නම්, එය අප මානව පරිණාමය ගමන් මගේ මුලින්ම අප්‍රිකාව හැර ගියේ කවුරුන්ද යන්න පිළිබඳ අප දැනටමත් දන්නා අදහස් වෙනස් කරනු ඇත. එනම්, මීට වසර මිලියන 1.9 කට පමණ පෙර හෝමෝ ඉරෙක්ටස් අප්‍රිකානු නිජබිම හැර ගිය අපගේ සෘජු රේඛාවේ පළමු සාමාජිකයා යැයි සාධක තහවුරු වනු ඇත. තවදුරටත් මෙම භූගෝලීය ප්‍රදේශය, ලුසොන් වෙත ප්‍රවේශ විය හැක්කේ මුහුදෙන් පමණක් බැවින්, මෙම අනාවරණිත මානව විශේෂ දූපතට ළඟා වූයේ කෙසේද යන්න පිළිබඳව තවමත් නොවිසදී ඇති ප්‍රශ්නයක් ලෙස ඉතිරි වී තිබේ.

රූපය 16 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ දත් (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 16 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ දත් (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

හෝමෝ නලඩි  Homo naledi

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 2015
  • ජීවත් වූ ස්ථානය: දකුණු අප්‍රිකාව
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර 335,000 – 236,000කට පෙර

2013 ඔක්තෝම්බර් මස සිට ලී බර්ගර් (Lee Berger) විසින් මෙහෙයවන ලද ගවේෂණ වලදී දකුණු අප්‍රිකාවේ දිනලෙඩි (Dinaledi) ප්‍රදේශයේ, ද රයිසින් ස්ටාර් ගුහා සංකීර්ණයේ (the Rising Star Cave system) කෙරෙන්  ෆොසිල මානව නිදර්ශකය ප්‍රථම වරට සොයා ගන්නා ලදී (Berger et al., 2015; Dirks et al., 2015). ඒහි දී අවම වශයෙන් හෝමෝ නලඩි මානවයින් 15 දෙනෙකුගෙන් නිදර්ශක ෆොසිල 1550 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. මෙම කැණීම අප්‍රිකාවෙන් සොයාගෙන ඇති තනි හොමිනින් විශේෂයක විශාලතම එකතුව ලෙස වාර්තා අතරට එක් විය. නැවත 2013 දී එම ගුහාවේ ම Lesedi කොටසෙන් තවත් හෝමෝ නලඩි නිදර්ශක 133 ක් සොයා ගත් අතර, ඒවා අවම වශයෙන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු – වැඩිහිටියන් දෙදෙනෙකු සහ කුඩා දරුවකු නියෝජනය කළේ ය (Hawks et al., 2017). පසුකාලීනව එනම්, 2017 දී මෙම හෝමෝ නලඩි ෆොසිල වසර 335,000 ත් 236,000 ත් අතර කාලයකට අයත් බවට කාල නිර්ණය කර ඇත (Dirks et al., 2017).

රූපය 17 – හෝමෝ නලඩි මානව අවශේෂ (උපුටාගැනීම - elifesciences.org වෙතිනි)
රූපය 17 – හෝමෝ නලඩි මානව අවශේෂ (උපුටාගැනීම – elifesciences.org වෙතිනි)

හෝමෝ නලඩි හා සම්බන්ධ වෙනත් සත්ව ෆොසිල හෝ මෙවලම් හමු නොවීම නිසා මෙම විශේෂයේ පරිසර විද්‍යාව සහ පැවැත්ම ගැන දන්නේ ඉතා අල්ප වශයෙනි. එම විශේෂයේ දත් දකුණු අප්‍රිකානු මානව විශේෂයේ ආහාර රටාව සහ පැවැත්ම පිළිබඳව යම් සමානතාවක් දරන බව අනාවරණය වී ඇත. එහි දත්, ඇත්ත වශයෙන්ම, එම කාලය තුළ ජීවත් වූ අනෙකුත් හෝමෝ විශේෂවලට වඩා වෙනස් වේ (Bolter et al., 2018). එබැවින්, වෙනත් බොහෝ රූප විද්‍යාත්මක සමානකම් තිබියදීත්, හෝමෝ නලඩි වෙනත් හෝමෝ විශේෂ ජීවත් ව සිටි පරිසරයට වඩා වෙනස් පරිසරයක වාසය කළ බවටත් විද්වත් මත යෝජනා වී තිබේ. හෝමෝ ගණයේ පරිණාමීය වෘක්ෂය තුළ හෝමෝ නලඩි ස්ථානගත කිරීම දැනට අර්බුධකාරී වේ. හෝමෝ නලඩි සතුව ඔස්ට්‍රලෝපිතිකස් ලක්ෂණ (විශේෂයෙන් ශ්‍රෝණිය සහ උරහිසෙහි) සහ නූතන හෝමෝ ලක්ෂණ (විශේෂයෙන් අත් සහ පාදවල සහ එහි මොළයේ ප්‍රමාණය) මිශ්‍රණයක් විද්‍යාමාන වේ. හෝමෝ ඉරෙක්ටස් සහ හෝමෝ කුලයට අයත් අනෙකුත් විශේෂවලට හෝමෝ නලඩි සම්බන්ධ වූ ආකාරය පිළිබඳ වැඩිදුර හැදෑරීමට තවත් සංසන්දනාත්මක පර්යේෂණ අවශ්‍ය වේ.

ෆොසිල වාර්තාවේ අසම්පූර්ණත්වය නිසා බොහෝවිට මෙම මානව විශේෂයේ අර්බුධකාරී තත්ත්ව හා පරස්පරවිරෝධී තත්ත්ව පැන නැගී ඇත. උදාහරණයක් ලෙස, හෝමෝ නලේඩිගේ හස්ත රූපවිද්‍යාව (Kivell et al., 2015) මගින් ගස් නැගීමේ කාරර්යේ තවදුරටත් යෙදී සිටි බවක් යෝජනා කරන අතර, පාදය රූපවිද්‍යාව අධ්‍යයනයෙන් (Harcourt-Smith et al., 2015) පෙන්නුම් කරන්නේ භූමිෂ්ඨ ජීවන රටාවකට අනුවර්තනය වී සිටි බවයි. එය එසේ වන්නේ කුමන හේතූන් අරඹයා ද? එසේ වී නම් හෝමෝ නලඩි ජීවත් වූයේ කුමන ආකාරයේ වාසස්ථානවලද? යන ගැටළු තවමත් නොවිසදී පවතී.

හෝමෝ බෝඩෙන්සිස්  Homo bodoensis

වඩාත් මෑත කාලීනව නාමකරණයට ලක් වූ මානව විශේෂය ලෙස හෝමෝ බෝඩෙන්සිස් හැදින්විය හැකි ය. මෙම විශේෂය අදින් වසර 500,000 කට පමණ පෙර මධ්‍ය ප්ලයිස්ටොසීන යුගයේ අප්‍රිකාවේ ජීවත් වූ අතර, නූතන සේපියන්ස් පරම්පරාවේ සෘජු මුතුන් මිත්තන් ලෙස හැදින්වේ (Roksandic et al., 2022); කෙසේ වෙතත්, මෙම විශේෂය යුරේසියානු (නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන්) සහ අප්‍රිකානු (හෝමෝ සේපියන්ස්) හොමිනින්ගේ වඩාත් මෑතකාලීන පොදු මුතුන් මිත්තන් ලෙස සැලකිය නොහැකි ය. එනම් හෝමෝ බෝඩෙන්සිස් මානව විශේෂය නාමකරණය කිරීම මධ්‍ය ප්ලයිස්ටොසීන කාල පරිච්ඡේදයේ සිට අප්‍රිකාවේ සහ යුරේසියාවේ පවතින මානව ෆොසිල නැවත තක්සේරු කිරීම මත පමණක් පදනම් වේ. ඒ අනුව නැවත පරීක්ෂණයට භාජනය කෙරුණු ෆොසිල නිදර්ශක හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් හෝ හෝමෝ රෙඩෙසියන්සිස් යන විශේෂ දෙකටම අදාල වන ලෙස පවරා ඇති අතර, බොහෝ විට පරස්පර අර්ථ දැක්වීම් දැරූ ඒවා වීම විශේෂත්වයකි.

රූපය 18 - හෝමෝ බෝඩෙන්සිස් මානව නිදර්ශකය (උපුටා ගැනීම Wikipedia වෙතිනි)
රූපය 18 – හෝමෝ බෝඩෙන්සිස් මානව නිදර්ශකය (උපුටා ගැනීම Wikipedia වෙතිනි)

එහි පළමු නිදර්ශකය ඉතියෝපියාවේ Bodo D’ar හි Bodo 1 ලෙස නම් කර තිබුණු අතර, 1976 වසරේ දී එය අදින් වසර ලක්ෂ 6ක් පමණ පැරණි යැයි කාලනිර්ණය කර මූලිකවම හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් විශේෂයක් යැයි සලකා වැඩිදුර පර්යේෂණ මෙහෙයවා තිබිණි. එය අනුමාන වශයෙන් පිරිමි පුද්ගලයෙකුගේ අර්ධ හිස්කබලක් වූ අතර, ඉදිරි මුහුණ හා කපාලය හොදින් ආරක්ෂා වී තිබිණි. මෙම ෆොසිල නිදර්ශකය මධ්‍ය ප්ලයිස්ටොසීන අයත් අප්‍රිකාවෙන් සහ අග්නිදිග යුරෝපයෙන් (උදා:  Sima de los Huesos) අනාවරණය කරගැනුණු මානවයින් සමග නැවත සලකා බැලිණි. විද්‍යාඥයින්ගේ අදහස අනුව යුරේසියානු මානව ආකෘතීන් වන නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන් මානව විශේෂ බෙදී වෙන්වීමට පෙර හෝමෝ බෝඩෙන්සිස් එයින් වෙන් ව තනි ගමනක් ආරම්භ කර ඇත.

රූපය 19 - හෝමෝ බෝඩෙන්සිස් මානව ප්‍රතිනිර්මාණය (උපුටා ගැනීම Sci-News.com වෙතිනි)
රූපය 19 – හෝමෝ බෝඩෙන්සිස් මානව ප්‍රතිනිර්මාණය (උපුටා ගැනීම Sci-News.com වෙතිනි)

සමාලෝචනය…

එකිනෙකට වෙනස් වූ මානව විශේෂ කීයක් මිහිමත වාසය කර වද වී ගියා ද යන්න නිවැරදිව සොයා බැලීම ඉතා සංකීර්ණ කාර්යයකි. නමුත් අපට ශක්‍යතාවයක් ඇත්තේ ලොව කොතනකින් හෝ හමුවන ෆොසිල මානවයින් ඇසුරෙන්, අප මානව විශේෂයට එනම් නූතන සේපියන් මානවයින්ගේ පරිණාමීය කෘත්‍යය උදෙසා කෙතරම් දායකත්වයක් ලබා දී ඇත් ද යන්න ප්‍රමාණනය කිරීම ය.

කෙටි වාර්තා චිත්‍රපට

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Arzarello, M., Marcolini, F., Pavia, G., Pavia, M., Petronio, C., Petrucci, M., Rook, L., & Sardella, R. (2007). Evidence of earliest human occurrence in Europe: the site of Pirro Nord (Southern Italy). Naturwissenschaften, 94(2), 107–112.

Berger, L. R., Hawks, J., de Ruiter, D. J., Churchill, S. E., Schmid, P., Delezene, L. K., Kivell, T. L., Garvin, H. M., Williams, S. A., DeSilva, J. M., Skinner, M. M., Musiba, C. M., Cameron, N., Holliday, T. W., Harcourt-Smith, W., Ackermann, R. R., Bastir, M., Bogin, B., Bolter, D., … Zipfel, B. (2015). Homo naledi, a new species of the genus Homo from the Dinaledi Chamber, South Africa. ELife, 4.

Bermúdez de Castro, J. M., Arsuaga, J. L., Carbonell, E., Rosas, A., Martı́nez, I., & Mosquera, M. (1997). A Hominid from the Lower Pleistocene of Atapuerca, Spain: Possible Ancestor to Neandertals and Modern Humans. Science, 276(5317), 1392–1395.

Bermúdez-de-Castro, J.-M., Martinón-Torres, M., Martín-Francés, L., Modesto-Mata, M., Martínez-de-Pinillos, M., García, C., & Carbonell, E. (2017). Homo antecessor : The state of the art eighteen years later. Quaternary International, 433, 22–31.

Bolter, D. R., Hawks, J., Bogin, B., & Cameron, N. (2018). Palaeodemographics of individuals in Dinaledi Chamber using dental remains. South African Journal of Science, 114(1/2).

Brown, S., Higham, T., Slon, V., Pääbo, S., Meyer, M., Douka, K., Brock, F., Comeskey, D., Procopio, N., Shunkov, M., Derevianko, A., & Buckley, M. (2016). Identification of a new hominin bone from Denisova Cave, Siberia using collagen fingerprinting and mitochondrial DNA analysis. Scientific Reports, 6(1), 23559.

Carbonell, E., Bermúdez de Castro, J. M., Parés, J. M., Pérez-González, A., Cuenca-Bescós, G., Ollé, A., Mosquera, M., Huguet, R., van der Made, J., Rosas, A., Sala, R., Vallverdú, J., García, N., Granger, D. E., Martinón-Torres, M., Rodríguez, X. P., Stock, G. M., Vergès, J. M., Allué, E., … Arsuaga, J. L. (2008). The first hominin of Europe. Nature, 452(7186), 465–469.

Carbonell, E., Esteban, M., Nájera, A. M., Mosquera, M., Rodrı´guez, X. P., Ollé, A., Sala, R., Vergès, J. M., Bermu´dez de Castro, J. M., & Ortega, A. I. (1999). The Pleistocene site of Gran Dolina, Sierra de Atapuerca, Spain: a history of the archaeological investigations. Journal of Human Evolution, 37(3–4), 313–324.

Détroit, F., Mijares, A. S., Corny, J., Daver, G., Zanolli, C., Dizon, E., Robles, E., Grün, R., & Piper, P. J. (2019). A new species of Homo from the Late Pleistocene of the Philippines. Nature, 568(7751), 181–186.

Dirks, P. H., Berger, L. R., Roberts, E. M., Kramers, J. D., Hawks, J., Randolph-Quinney, P. S., Elliott, M., Musiba, C. M., Churchill, S. E., de Ruiter, D. J., Schmid, P., Backwell, L. R., Belyanin, G. A., Boshoff, P., Hunter, K. L., Feuerriegel, E. M., Gurtov, A., Harrison, J. du G., Hunter, R., … Tucker, S. (2015). Geological and taphonomic context for the new hominin species Homo naledi from the Dinaledi Chamber, South Africa. ELife, 4.

Dirks, P. H., Roberts, E. M., Hilbert-Wolf, H., Kramers, J. D., Hawks, J., Dosseto, A., Duval, M., Elliott, M., Evans, M., Grün, R., Hellstrom, J., Herries, A. I., Joannes-Boyau, R., Makhubela, T. v, Placzek, C. J., Robbins, J., Spandler, C., Wiersma, J., Woodhead, J., & Berger, L. R. (2017). The age of Homo naledi and associated sediments in the Rising Star Cave, South Africa. ELife, 6.

Fu, Q., Hajdinjak, M., Moldovan, O. T., Constantin, S., Mallick, S., Skoglund, P., Patterson, N., Rohland, N., Lazaridis, I., Nickel, B., Viola, B., Prüfer, K., Meyer, M., Kelso, J., Reich, D., & Pääbo, S. (2015). An early modern human from Romania with a recent Neanderthal ancestor. Nature, 524(7564), 216–219.

Harcourt-Smith, W. E. H., Throckmorton, Z., Congdon, K. A., Zipfel, B., Deane, A. S., Drapeau, M. S. M., Churchill, S. E., Berger, L. R., & DeSilva, J. M. (2015). The foot of Homo naledi. Nature Communications, 6(1), 8432.

Hawks, J., Elliott, M., Schmid, P., Churchill, S. E., Ruiter, D. J. de, Roberts, E. M., Hilbert-Wolf, H., Garvin, H. M., Williams, S. A., Delezene, L. K., Feuerriegel, E. M., Randolph-Quinney, P., Kivell, T. L., Laird, M. F., Tawane, G., DeSilva, J. M., Bailey, S. E., Brophy, J. K., Meyer, M. R., … Berger, L. R. (2017). New fossil remains of Homo naledi from the Lesedi Chamber, South Africa. ELife, 6.

Kaifu, Y., Kono, R. T., Sutikna, T., Saptomo, E. W., Jatmiko, & Due Awe, R. (2015). Unique Dental Morphology of Homo floresiensis and Its Evolutionary Implications. PLOS ONE, 10(11), e0141614.

Kivell, T. L., Deane, A. S., Tocheri, M. W., Orr, C. M., Schmid, P., Hawks, J., Berger, L. R., & Churchill, S. E. (2015). The hand of Homo naledi. Nature Communications, 6(1), 8431.

Krause, J., Fu, Q., Good, J. M., Viola, B., Shunkov, M. v., Derevianko, A. P., & Pääbo, S. (2010). The complete mitochondrial DNA genome of an unknown hominin from southern Siberia. Nature, 464(7290), 894–897.

López-Polín, L., Bermúdez de Castro, J. M., & Carbonell, E. (2017). The preparation and conservation treatments of the human fossils from Lower Pleistocene unit TD6 (Gran Dolina site, Atapuerca) – The 2003–2009 record. Quaternary International, 433, 251–262.

Mijares, A. S., Détroit, F., Piper, P., Grün, R., Bellwood, P., Aubert, M., Champion, G., Cuevas, N., de Leon, A., & Dizon, E. (2010). New evidence for a 67,000-year-old human presence at Callao Cave, Luzon, Philippines. Journal of Human Evolution, 59(1), 123–132.

Roksandic, M., Radović, P., Wu, X., & Bae, C. J. (2022). Resolving the “muddle in the middle”: The case for Homo bodoensis sp. nov. Evolutionary Anthropology: Issues, News, and Reviews, 31(1), 20–29.

Rosell, J., Rodríguez, J., & Benito-Calvo, A. (2017). What’s happening now in Atapuerca? Latest research at the Sierra de Atapuerca sites. Quaternary International, 433, 2–4.

Slon, V., Mafessoni, F., Vernot, B., de Filippo, C., Grote, S., Viola, B., Hajdinjak, M., Peyrégne, S., Nagel, S., Brown, S., Douka, K., Higham, T., Kozlikin, M. B., Shunkov, M. v., Derevianko, A. P., Kelso, J., Meyer, M., Prüfer, K., & Pääbo, S. (2018). The genome of the offspring of a Neanderthal mother and a Denisovan father. Nature, 561(7721), 113–116.

Warren, M. (2018). Mum’s a Neanderthal, Dad’s a Denisovan: First discovery of an ancient-human hybrid. Nature, 560(7719), 417–418.

Welker, F., Ramos-Madrigal, J., Gutenbrunner, P., Mackie, M., Tiwary, S., Rakownikow Jersie-Christensen, R., Chiva, C., Dickinson, M. R., Kuhlwilm, M., de Manuel, M., Gelabert, P., Martinón-Torres, M., Margvelashvili, A., Arsuaga, J. L., Carbonell, E., Marques-Bonet, T., Penkman, K., Sabidó, E., Cox, J., … Cappellini, E. (2020). The dental proteome of Homo antecessor. Nature, 580(7802), 235–238.