Home Blog Page 17

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තවීමේ මෝස්තරය පිලිබඳ පුරාවිද්‍යා විමසුමක්

ඩී. තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ඩී. තුසිත මැන්දිස්

යාන් ඔය මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුමෙන් ආරම්භව පුල්මු‌ඩේ ප‍්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංගාවකි. මධ්‍ය යාන් ඔය නිම්නය ගත් කල එහි පුළුල් නිම්න ප‍්‍රදේශයකට අයත් භූ වපසරිය පමණක් වර්ග කිලෝමීටර් 1,360කි. යාන් ඔය නිම්නය තුළ පූර්ව ඉතිහාසයට අයත් සුසාන ස්ථාන 34ක් කාලරක්ත වර්ණ මැටි මෙවලම් හමුවන ස්ථාන 6ක් පමණ පවතින බව රංජිත් දිසානායක විසින් හඳුනාගෙන වාර්තා කර තිබේ (2017 වර්ෂයේ රංජිත් දිසානායක සමඟ සිදු කළ සාකච්ඡුාවක් ඇසුරිනි). ශ‍්‍රී ලංකාවේ උතුරුමැද පලාතේ පූර්ව ඓතිහාසික සංස්කෘතියට අදාළ පැරණිතම සාධක දැනට වාර්තා වන්නේ අනුරාධපුර ඇතුළුපුරයෙනි. විකිරණමාන දින නියම කිරීම් හා ඔක්ස්කැල් කාල නිර්ණ කිරීම් අනුව එම සංස්කෘතිය ක‍්‍රිස්තු පූර්ව 1,000 තරම් ඈතට ගමන් කරන බව මේ වනවිට තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992(707-712;Deraniyagala & Abyerathne: 707-731). අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැඩිම පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස හා සුසාන ස්ථානගත වී ඇත්තේ මධ්‍ය යාන් ඔය නිම්නය ආශ‍්‍රිතව ය. දැනට වාර්තා වන ආකාරයට පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් සුසාන ස්ථාන 28ක් පවතින අතර එම සුසාන ස්ථානගතව ඇති ස්ථාන වන්නේ වඩිගවැව, ගුරුගල්හින්න, කොක්එබේ, තම්මැන්නාගොඩැල්ල, දිවුල්වැව, මරදන්මඩුව, පරංගියාවාඩිය (නිකවැව), දික්වැව, ඇතාබැදිවැව, පන්කැටියාව, පළුකැටිවැව, ගල්ඇදකටුව, නෙළුගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, පන්වත්ත, පඩරැල්ලාව (රබෑව), මල්පෝරුවල, කිරිමැටියාව, ඕලූවැව, නෙතුගොල්ලෑව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, මාවතවැව, වලස්මුල්ල යන ස්ථානයන්ය.

මෙම ස්ථාන අතරින් මේ වනවිට රේඩියෝ කාබන් දින නියම කිරීම් සිදු කර ඇත්තේ වාහල්කඩ ක‍්‍රිස්තු පූර්ව 400-200 (එස්.ටී.ජී. ප‍්‍රියන්ත සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2018). තම්මැන්නාගොඩැල්ල ක‍්‍රිස්තු පූර්ව 490-350 (රංජිත් දිසානායක සමඟ 2017 සිදු කළ සම්මුඛ සාකච්ජාව). කොක්එබේ ක‍්‍රිස්තු පූර්ව 790-125 (මැන්දිස් 2017:177-179). දැනට සිදු කර ඇති අධ්‍යයන අනුව බැබී ඇති දින නියම කිරීම්වලින් පැහැදිළි වන ප‍්‍රධාන කාරණයක් වන්නේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය අනුරාධපුර පැරණි නගරයෙන් නැගෙනහිර දිශාව තුළ ස්ථාපිත වී ඇත්තේ අනුරාධපුරයට වඩා වසර 200කට පමණ පසුව බව ය. මෙය අතිශයින්ම වැදගත් වන්නේ යාන් ඔය නිම්නය ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික සංස්කෘතික පිරිස් අනුරාධපුරය හා ඉන් අවට කලාපයේ ස්ථානගත වනවාට වඩා මහා පරිමාණයෙන් මධ්‍ය යාන් ඔය නිම්නයේ කේන්ද්‍රගත වී තිබීම සැලකිය යුතු කාරණයකි. එසේ නම් අප විමර්ශනය කළ යුතු කාරණය වන්නේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය අනුරාධපුරය කේන්ද්‍රගත කරමින් ඉන් පිටත කලාප දක්වා ව්‍යාප්තවීමක් සිදු වී තිබේ ද? එසේ නොමැති නම් යාන් ඔය මධ්‍ය නිම්නයේ මෙම සංස්කෘතිය ආරම්භ වී ක‍්‍රමයෙන් අනුරාධපුර දෙසට ව්‍යාප්ත වූවා ද යන්න විමසීම ය. මේ පිළිබඳව විමසීමේ දී අවධානය යොමු කළ යුතු එක් කරුණක් වන්නේ මෙම සංස්කෘතිය ඉන්දීය මෙගලිතික සංස්කෘතියේ බලපෑම මත ඉන්දියාවේ දකුණු කොටසින් පිට වී ලංකාවේ නැගෙනහිර වෙරළ වන ත‍්‍රිකුණාමලය දෙසින් ලංකාවේ රට අභ්‍යන්තරයට ප‍්‍රවිශ්ට වූවා ද? එසේ ඇතුළු වූ පුර්ව ඓතිහාසික ජන පිරිස පුල්මුඩේ දෙසින් යාන් ඔය පහළ නිම්නයට ඇතුළු වී සාරවත් ආකර්ෂණීය භූමියක් වූ මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාපිත වූවා ද? යන්න විමර්ශනය කළ යුතු ය. මධ්‍ය යාන් ඔය නිම්නය තුළ මෙම ජනාවාස ස්ථානගත වීමේ දී කහටගස්දිගිලිය හා හොරොව්පොතාන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පොකුරක් ආකාරයට ස්ථානගත වී තිබේ. දැනට බැබී ඇති කාල නීර්ණ අනුව පැහැදිලි වන්නේ මුල්ම ජනපද මෙම ප‍්‍රදේශවල ස්ථානගත වී ඇති බව ය. එසේ නම් ආරම්භක ජනපද මධ්‍ය යාන් ඔය නිම්නයේ ආරම්භව එහි සංස්කෘතියේ හා ජනරේඛනයේ ප‍්‍රසාරණ සමඟ ක‍්‍රමානුකූලව යාන් ඔය පහළ නිම්නය වන පුල්මුඬේ දෙසටත් ඉහළ නිම්නය වන සීගිරි හා කලා ඔය නිම්න දෙසටත් ව්‍යාප්ත වූවා ද යන්න විමසීම ද වැදගත් වේ. මේ සඳහා දැනට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇති තොරතුරු භාවිත කිරීම තුළින් ඉතා හොඳ පිළිතුරක් සපයාගත හැකි ය. යම් ස්ථානයක ඇතිවන ආරම්භක ප‍්‍රාථමික ජනාවාස එම ස්ථානයෙන් ප‍්‍රසාරණය වීම සදහා ප‍්‍රධාන වශයෙන් ජීවනෝපාය ක‍්‍රමය, තාක්‍ෂණ ශිල්පයේ දියුණුව, ජනාවාසරටාව හා බහු සම්පත් යැපුම් රටාව බලපාන බව පුරාවිද්‍යඥයින් පෙන්වා දී ඇත (Senaviratne 1996:277). තැනින්තැනට ගමන් කරන එඬේර ජන පිරිසක් වූ මොවුන් ස්ථාවර ජනපද පිහිටුවා ගැනීම ආරම්භ කරනු ලබනුයේ සංස්කෘතික වර්ධනයත් සමඟ ය. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට යම් ජනාවාසයක් තුළ ජනගහණය වැඩිවීමෙන් පසු ඇති වන ජන ප‍්‍රසාරණය මත නව ජනපද ගොඩනැගෙන අතර ඒ සමඟම නව ජනපද බිහිවීම සිදු වේ (එම). ජනපද ප‍්‍රමාණයේ වර්ධනය සමඟ ඔවුන් එතෙක් ක‍්‍රියත්මක කරන ලද තැනින්තැනට ගොස් ගතකළ එඬේර ජීවන ක‍්‍රමය අවසන් වන අතර එමඟින් ලබා දෙන අන්තර් සමාජ ක‍්‍රියාකාරිත්ව ක‍්‍රියාදාමය තුළ සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික, යනුවෙන් හැදින්වෙන ආයතන හැඩගැසීම සිදු වේ (එම). මෙසේ ඇති වීම සමඟ ස්ථාවර ජනපද ආරම්භ වන අතර එවැනි ස්ථාවර ජනපද මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාපිත වූ බව පැහැදිලි වන්නේ මහා පරිමාණ මෙගලිතික සුසාන භූමි සමූහයක් දැකගත හැකි බැවිනි.

යාන් ඔය මධ්‍ය නිම්නය තුළ ස්ථානගත වන පූර්ව ඓතිහාසික ජනාවාස එම නිම්නයේ ස්ථාවර වීම සඳහා කාලය හා අවකාශය තුළ ගොඩනැගෙන්නා වූ බහුවිධ කාරණා බලපාන්නට ඇත. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ පැරණිතම සාධක අනුරාධපුර ඇතුළුපුරය ඇසුරින් හඳුනාගෙන ඇති නමුත් අනුරාධපුර නගරය හා එහි තදාශ‍්‍රිත ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් එම සංස්කෘතිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. මේ සම්බන්ධයෙන් අනුරාධපුර ඇතුළුපුරයෙන් ජනාවාසමය තත්වයන් (Deraniyagala 1992:709-712) හා අභයගිරි විහාරය අභ්‍යන්තරයෙන් එකි සුසානයක් හා එම විහාරයට උතුරින් අශෝකාරාමයට ප‍්‍රවිශ්ට වන මංසන්දියේ සිට ගම්බිරිස්ගස් වැව මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගිය විට එම මාර්ගය තුළ සුසානයක් පවතින බව මෙම ලේඛකයා විසින් 2016 වර්ෂයේ සිදු කරන ලද ගවේෂණයක දී හඳුනාගෙන තිබේ (මැන්දිස් 2016:85). පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන අනුරාධපුරය හා එහි තදාශ‍්‍රිත කලාපයේ දැක ගැනීමට නොහැකි වන්නේ බෞද්ධ ආරාම එම භූමිවල ස්ථාපිත වීම සමඟ ම පූර්ව ඓතිහාසික යුගයට අයත් වන සුසාන වැනි අංග එම භූමිවලින් ගලවා ඉවත් කිරීම නිසා බව උපකල්පනය කළ හැකි ය. නමුත් අනුරාධපුර සමහර විහාරාරාම ආශයෙන් පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස තොරතුරු වාර්තාවන බව මෙම ලේඛකයා විසින් 2000-2009 කාලය තුළ ජේතවන විහාරය හා වෙස්සගිරි විහාරය (පුරාණ ඉසුරුමුණිය) ආශ‍්‍රිතව සිදු කර ඇති පුරාවිද්‍යා කැනීම්වල දී හමු වී ඇති භෞතික සංස්කෘතික තොරතුරු තුළින් වාර්තා කර තිබේ (මැන්දිස් 2006:252-271, 300-310). ඒ අනුව පූර්ව ඓතිහාසික යුගයේ දී අනුරාධපුර හා එහි තදාශ‍්‍රිත කලාපයේ පූර්ව ඓතිහාසික සංස්කෘතික අවධිය සම්බන්ධ තොරතුරු යම් ප‍්‍රමාණයක් එම යුගයේ ජනාවාස හා සුසාන සම්බන්ධව පැවතිය ද පූර්ව ඓතිහාසික සංස්කෘතියේ සාර්ව මුල් බැස ගැනීම අනුරාධපුරය හා එහි තදාශ‍්‍රිත කලාපයට වඩා දැකගත හැක්කේ ඉන් නැගෙනහිරින් පිහිටි මධ්‍ය යාන් ඔය නිම්නය ආශ‍්‍රිතව ය.

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වීමේ මෝස්තරය හා එහි මෙතෙක් ලබා ගෙන ඇති කාලනීර්ණ දැක්වෙන සිතියම

මහා පරිමාණ ලෙස ස්ථාපිතව ඇති මෙගලිතික සුසාන සංකීර්ණ තුළින් මේ බව මැනවින් හඳුනාගත හැකි අතරම මේ ආකාරයට විශාල සුසාන භූමි ප‍්‍රමාණයක් යාන් ඔය නිම්නයේ මුල් බැස ගැනීම සඳහා එක් අතකින් ත‍්‍රිකුණාමල වරායේ ස්ථානගත වීම ද බලපාන්නට ඇති බව උපකල්පනය කළ හැකි ය. පුර්ව ඓතිහාසික අවධියේ දී ඉන්දියාවේ දකුණු දෙසින් සරල යාත‍්‍රා ඔස්සේ පහසුවෙන් ත‍්‍රිකුණාමලය වරායට පැමිණි ජන කණ්ඩායම් (උදාහරණ වශයෙන් වර්තමානයේ උතුරු කරයේ ජනතාව මසුන් මැරීමට භාවිත කරන කට්ටුමරන් හෙවත් කටමරන් යනුවෙන් හැදින්වෙන සරල යාත‍්‍රා වැනි යාත‍්‍රා භාවිත කර ත‍්‍රිකුණාමලය වරායට පැමිණිය හැකිය). ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර ප‍්‍රදේශයෙන් මුහුදට වැටෙන යාන් ඔයේ පහළ නිම්නය වන පුල්මු‌ඩේ දෙසින් රට අභ්‍යන්තරයට ඇතුළු වී යාන් ඔය නිම්නයේ ඉහළට ගමන් කර මධ්‍ය කොටස තුළ ජනාවාස ස්ථානගත කරන්නට ඇති බව මේ වන විට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණ තුළින් පැහැදිලි වේ. විශේෂයෙන්ම යාන් ඔය පහළ, මධ්‍යම හා ඉහළ යන නිම්න තුන තුළම පුර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන භූමි 35 පමණ ස්ථානගත වී තිබීම තුළින් මේ බව මැනවින් තහවුරු කර ගත හැකි ය. අනෙක් අතට ලංකාවේ වෙනත් කිසිඳු ගංගා නිම්නයක් තුළින් මෙතරම් විශාල සුසාන භූමි ප‍්‍රමාණයක් වාර්තා නොවීම ද විශේෂ ය. ඉදිරි පර්යේෂණවලින් ලබා ගන්නා වූ විද්‍යාත්මක කාලනීර්ණ ඔස්සේ සිදු කරන අධ්‍යයන තුළින් යාන් ඔය නිම්නයේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වරූපය හඳුනාගැනීමට වැඩි අවකාශයක් තිබුණ ද දැනට ලැබී ඇති කාල නීර්ණ අනුව පුර්ව ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වීමේ මෝස්තරය හඳුනාගැනීමට අවකාශ සැලසේ.

මධ්‍ය යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ස්ථානගත වීම පිළිබඳව විමසීමක් කිරීමේ දී පැහැදිලි වන්නේ හැඩගැසෙමින් ඇති සමාජය ආර්ථික හා තාක්‍ෂණ ශිල්පය පදනම් කරගෙන විශේෂ වූ අමුද්‍රව්‍ය සොයා යාන් ඔය මධ්‍ය නිම්නයට ප‍්‍රවිශ්ට වන්නට ඇති බව ය. දැනට සිදු කර ඇති පර්යේෂණවලට අනුව ක‍්‍රිස්තු පූර්ව 500-600 පමණ වන විට අනුරාධපුරය නාගරික තත්ත්වයට පත් වී ඇත. එම කාලපරිච්ජේදයට අදාළව හමු වී ඇති දෙස්විදෙස් මානවකෘති තුළින් ඒ බව මැනවින් පැහැදිලි වේ (Deraniyagala 1992:711-712). නාගරික ක‍්‍රියාවලිය සමඟ අනුරාධපුරය ප‍්‍රධාන ජනාවාසය ලෙස ඉස්මතු වීමත් සමඟ ම එම ජනපදයට අවශ්‍ය බහුවිධ සම්පත් හා භාණ්ඩ ඊට හාත්පස ප‍්‍රදේශවල පිහිටුවා ගන්නා ජනපද මඟින් සැපයීම ආර්ථික විද්‍යානුකූලව ද සිදු විය යුතු සිද්ධාන්තයකි. මධ්‍ය යාන් ඔය නිම්නය ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික ජනාවාස සාර්ව ලෙස ස්ථාපිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර බැලුුවහොත් හඳුනාගත හැකි වැදගත් කාරණය වන්නේ එම කාලය තුළ අන්තර් සමාජ සම්බන්ධතාවය යාන් ඔය මධ්‍ය නිම්නය හා අනුරාධපුරය අතර සිදු වී තිබූ බව ය.

හැඩ ගැසෙමින් ඇති ප‍්‍රාථමික ජන සමාජයක් ස්ථාවර ලෙස මුල්බැස ගැනීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම ඛනිජ සම්පත්වල පිහිටීම සෘජුව බවපාන බව පුරාවිද්‍යා පර්යේෂණවල දී පෙන්වා දී තිබේ. යාන් ඔය නිම්නයේ පූර්ව ඵෙතිහාසික ජනාවාස ව්‍යාප්තවීමේ මොස්තරය අධ්‍යයනයේ දී එම ජනපද ස්ථාන ගතවීම උදෙසා ඛණිජ සම්පත්වල පිහිටීම ද බලපා ඇති බව හඳුනාගත හැකි ය. ඒ අතරින් ලෝහ සම්පත් මධ්‍ය යාන් ඔය නිම්නයට ඉතා ආසන්න ප‍්‍රදේශවල ස්ථානගත වී තිබීම නිසා යකඩ හා තඹ යන ඛණිජ සම්පත් පහසුවෙන් එම නිමිනයේ ජීවත් වූ වැසියන්ට පරිහරණය කිරීමට අවකාශ සැලසී තිබේ. ශ‍්‍රී ලංකාවේ යකඩ හා තඔ භාවිතය ආරම්භ වන්නේ පූර්ව ඓතිහාසික අවධියේ දී බව සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී ඇත (Senaviratne 1994:16). යාන් ඔය මධ්‍ය නිම්නයට ආසන්න කලාපයක් නිධිගත වී ඇති ලෝහයක් ලෙස තඹ ලෝහය සේරුවිල ප‍්‍රදේශයේ දී හමු වේ. 1971 වර්ෂයේ ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව සේරුවිල සිදු කර ඇති භූ විද්‍යා අධ්‍යනයන්ට අනුව මැග්නටයිට් තඹ (Copper Magnetite) සේරුවිල නිධිගත වී ඇතිබව හඳුනාගෙන තිබේ (Senaviratne 1995:116). පී.ජී. කුරේ පෙන්වා දෙන ආකාරයට මෙම මැග්නටයිට් තඹ නිධිය සම්භවය ලබා ඇත්තේ නැගෙනහිර විජයානු සංකීර්ණය හා උස්භූමී සංකීර්ණයට අයත් අන්තර් භූ කලාපයේ ය (Cooray 1984:212; Senaviratne 1995:116). සේරුවිල ප‍්‍රදේශයේ දී මතුපිටට ප‍්‍රවිෂ්ට ව ඇති මැග්නටයිටි තඹ ටොන් මිලියන 7ක් එම භූමියේ මතුපිට මටිටමේ සිට අඩි 200ක් පොළව අභ්‍යන්තරයට විහිදෙන බව ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව 1971 දී සිදු කළ පර්යේෂණවලින් තහවුරු කර තිබේ (ibid:117).

ලෝහ පූර්ව ඓතිහාසික අවධියේ ජනතාවගේ ජීවන පැවැත්මට අදාළ සම්පත් පරිහරණ රටාවේ මූලික අංගයකි. සේරුවිල ලෝහ නිධියේ වූ ලෝහ ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස පමණ වන විට අනුරාධපුරයට රැගෙන විත් ඇති බව අනුරාධපුර ඇතුළුපුර පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස ස්ථරවලින් හමු වී ඇති ලෝහ මෙවලම් ආශ‍්‍රිත ව සිදු කර ඇති රසායනික මුලද්‍රව්‍ය විශ්ලේෂණයට අනුව හදුනාගෙන තිබේ (ibid). මෙම කාලයට සම කාලීනව මධ්‍ය යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික ජනාවාස වන ගුරුගල්හින්න, දිවුල්වැව, වඩිගවැව, කොක්එබේ, කදිරවේලි යන ස්ථානවලින් යකඩ හෝ තඔ වාර්තා වී ඇති බව රාජා ද සිල්වා එම ස්ථාන ආශ‍්‍රිතව සිදු කර ඇති කැනීම්වලින් වාර්තා කර තිබේ (Senaviratne 1984:248-257). මේ පිළිබඳ අධ්‍යයනය කර ඇති අර්ජුන තන්තිලගේ ප‍්‍රකාශ කර ඇත්තේ මේවා තඹ ද ලෝකඩ ද යන්න නිශ්චිත ලෙස රාජා ද සිල්වා ප‍්‍රකාශයට පත්කර නොමැති බවය (Thanthilage 2008:202). නමුත් ගුරුගල්හින්න ආශ‍්‍රිතව තඔ උපකරණ ලැබී ඇති බව රාජා ද සිල්වා 1970 වර්ෂයේ වාර්තා කර ඇති බව සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී තිබේ (Senaviratne 1984:248). වඩිගවැව ශිලා මංජුසා සුසානයක් ආශ‍්‍රිත ව යකඩ වාර්තා වී ඇති බව එස්.කේ. සිත‍්‍රපලම් පෙන්වා දී ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කර තිබේ (Senaviratne 1984:248). අර්ජුන තන්තිලගේ පෙන්වා දී ඇති ආකාරයට ගුරුගල්හින්න ආශ‍්‍රිතව වාර්තා වී ඇති ලෝහ මෙවලම් අතර තඹවලින් පමණක් නිර්මාණය කරන ලද ඒවා හමු වී තිබේ. එසේ ම කොක්එබේ, වඩිගවැව, දිවුල්වැව යන ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ යන මාධ්‍ය දෙකෙන් ම නිර්මිත උපකරණ හමු වී තිබේ (Thanthilage 2008:202-203). තම්මැන්නාගොඩැල්ල ආශ‍්‍රිත සුසාන 2013 වර්ෂයේ කැනීම් කරන ලද රංජිත් දිසානායක එම සුසාන තුළ තැන්පත් කර තිබු රනින් නිමවා තිබූ පබළු, යකඩවලින් නිර්මිත වළළු, කරාඔු, දුනු හිස් හා කෘෂි උපකරණ ද තඹවලින් නිර්මාණය කරනු ලැබු ඇස් අලංකරණයට භාවිතා කරන අංජන කූරූ හා වළලූ ද හමු වූ බව ප‍්‍රකාශ කර ඇත (රංජිත් දිසානායක සමඟ සිදු කළ සම්මුඛ සාකච්ජාව උපුටා ගැනීම මනමේන්ද්‍රආරච්චි සහ අදිකාරි 2014:216-217). සුදර්ශන් සෙනෙවිරක්න පෙන්වා දී ඇති ආකාරයට සේරුවිල පිහිටි තඔ පූර්ව ඓතිහාසික අවධියේ දී ලංකාවේ අනෙකුත් ජනපද වෙත ලබා දී ඇත. විශේෂයෙන්ම මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාපිත පූර්ව ඓතිහාසික ජනතාව අනිවා්ර්‍යයෙන්ම යාන් ඔය මධ්‍ය නිම්නයට ලෝහ අමුද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ලෝහ මෙවලම් නිෂ්පාදනය කරන්නට ඇති බව පෙන්වාදිය හැක්කේ ඊට පසුව ඇති වන මුල් ඓතිහාසික සංස්කෘතික අවධියේ දී (Early histoty) එම ලෝහ සම්පත් අත්පත් කර ගැනීමේ කාර්ය තීරණාත්මක වී ඇති ආකාරය කුරුණෑකල්ලු පූර්ව බ‍්‍රාහ්මී අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකි නිසාය (ICVol.I 1970:No.319). සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වාදෙන ආකාරයට එම ලිපියේ සඳහන් වන පරුමක තබර වෙල යන්න මඟින් තඹ කර්මාන්තයේ නියැළි පරුමකවරු පිළිබඳව පැහැදිලි වන බව ප‍්‍රකාශ කර ඇත (Senaviratne 1989:115). පරුමකවරුන්ගේ පාලන බලය සේරුවිල සිට අනුරාධපුරය දක්වා විහිදුණු නිෂ්පාදන බෙදා හැරීම් ජාලය ඔස්සේ හඳුනාගත හැකි අතර ලෝහ කර්මාන්තය ආශි‍්‍රතව විශේෂඥ ශිල්ප කටයුතුවල නියැලි පිරිස් මධ්‍ය යාන් ඔය නිම්නයේ පෙරියපුලියන්කුලම, කැබිතිගොල්ලෑව, බ‍්‍රාහ්මණයාගම, නැට්ටුක්කන්ද, කහටගස්දිගිලිය ආදී ස්ථාන ඇසුරෙන් ස්ථානගත වී සිට ඇති බව මුල් බ‍්‍රාහ්මී අභිලේඛන අනුව ද හඳුනාගත හැකි වේ. ඒ අතර තබකර (තඹකරු), තොපශ (බෙලෙක්කරු) ආදි ශිල්පීන් (ICVol.I; 1970:No.350, No.351, No.370) මෙන්ම යකඩ කර්මාන්තයට සම්බන්‍ධ විශේෂ ප‍්‍රාගුණ්‍යතාවක් දැක්වූ ශිල්පීන් කබර (යකඩකරු) (IC. Vol.I; 1970:No.161). මෙම ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් ජීවත් වූ බව හඳුනාගත හැකි වීම තුළ ඔවුන් පූර්ව ඓතිහාසික අවධියෙන් සම්භවය ලබා මුල් ඓතිහාසික අවධියේ දී දියුණුවට පත් වූ පිරිස් බව එමඟින් හඳුනාගත හැකි වේ.

ලෝහ සම්පත්වලට අමතරව මෙම ප‍්‍රදේශ ඇසුරින් දැකගත හැකි ඛනිජ අතර තිරුවානා වර්ගවල පිහිටීම හඳුනාගත හැකිය. වඩිගවැව සිට උතුර දෙසට විහිදෙන පාෂාණ වැටිය ආශ‍්‍රිතව පිහිටන ඛනිජ තීරුවක තිරුවානා ඛනිජ බහුලව දක්නට ලැබේ. කොක්එබේ සුසාන භූමිය ආශ‍්‍රිතව 2016 වසරේ සිදු කරන ලද කැනීම්වල දී එම සුසාන අභ්‍යන්තරයෙන් මෙන්ම කැනීම් පරිශ‍්‍රය තුළින් ද දුම්පැහැ තිරුවානා (Smokey Quartz) හා විනිවිධ පෙනෙන තිරුවානා (Clear Quartz) වර්ග වාර්තා වී ඇත (මැන්දිස් 2016:128-179) එමඟින් මෙම යුගයේ දී එම ඛනිජ වර්ග එම ප‍්‍රදේශයේ නිවැසි පූර්ව ඓතිහාසික මිනිසුන් භාවිත කළ බව මැනවින් පැහැදිලි වේ. යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තිය හඳුනාගැනීමේ දී දැනට එම ප‍්‍රදේශය ඇසුරින් හඳුනාගත හැකි මෙගලිතික සොහොන් සංකීර්ණ හා ඒ ආශ‍්‍රිතව හඳුනාගත හැකි සුසාන ආකෘතිවල සංවර්ධනය අධ්‍යයනය කිරීම තුළින් ද එක්තරා ආකාරයකට පූර්ව ඓතිහාසික ජනාවාස රටාෙවේ ව්‍යාප්තවීමේ මෝස්තරය හඳුනාගැනීමට හැකි වේ. යාන් ඔය නිම්නය තුළින් මේ වන විට මෙගලිතික සුසාන ස්ථාන 35කට වඩා වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන අතර ඒ අතර ආකෘති ගණනාවකට අයත් සූසාන පවතී. එම ආකෘති අතර ශිලා මංජුසා සූසාන (Cist Burial), ශිලා කේතුක සූසාන (Cairn Mound), ශිලා මණ්ඩල සූසාන (Cairn Circle), ශිලා මංඤ්චක සූසාන (Delmenoid Cist), බරණි සුසාන (Urn Pot) (Senaviratne 2007:149-155; මැන්දිස් 2017:150-153). පවතින බව හඳුනාගත හැකිය. මෙම සුසාන ගොඩනගා ඇති වාස්තුවිදන්‍ාව (Burial Architecture) පිළිබඳව විමර්ශනය කිරීමේ දී පූර්ව ඓතිහාසික ප‍්‍රජාව ඔවුන්ගේ තාක්ෂණික ක‍්‍රියාවලිය එක්තරා ආකායකට ක‍්‍රමානුකූලව සංවර්ධනය කිරීම සිදු කර ඇති බවට සාධක ඒ තුළින් හඳුනාගත හැකි වේ. සංස්කෘතියක් ආරම්භක අවස්ථාවේ දී පරිණත භාවයට පත් නොවන අතර එය සංවර්ධනය වීම සඳහා තාක්‍ෂණ ශිල්පයේ වර්ධනය සමඟ ජනරේඛනයේ ප‍්‍රසාරණය හා සම්පත්වලට ඇතිවන ඉල්ලුම වර්ධනය විය යුතු ය. ප‍්‍රාථමික ජන සමාජයක් සංවර්ධනය කරා ලඟාවීමේ මිණුම් දණ්ඩක් ලෙස එම සංස්කෘතියේ වාස්තුවිද්‍යා අංගවල මෙන්ම කලා නීර්මාණ හා තාක්‍ෂණික අංශයන්ගේ සංවර්ධනයක් ද හඳුනාගත හැකි වේ.

උතුරු පලාතේ ධීවරයින් වර්තමායේ දී භාවිත කරන මෙම කට්ටුමරන් නැමති සරල යාත‍්‍රා විශේෂය වැනි යාත‍්‍රා පූර්ව ඓතිහාසික යුගයේ දී ද ජනතාව මුහුදු ගමන් සඳහා භාවිත කරන්නට ඇත

යාන් ඔය නිම්නයේ ස්ථානගත වී ඇති සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය තුළින් එක්තරා ආකාරයකට පැහැදිලි වන්නේ එම සමාජය සංවර්ධනය කරා ලගාවීමේ දී එකිනෙකට වෙනස් සුසාන ආකෘති හඳුන්වා දීම සිදු කර ඇති බව ය. යාන් ඔය නිම්නයේ දක්නට ලැබෙන සුසාන ආකෘති අතරින් බහුතර සුසාන ආකෘතිය වන්නේ ශිලා මංජුසා සුසාන ආකෘතිය වේ. මේ වන විට එම සුසාන ආකෘතියට අයත් සුසානවලින් පැරණිතම කාලනීර්ණ ලැබී ඇත්තේ කොක්එබේ ශිලා මංජුසා සුසානයකිනි. එහි කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 790 වේ. Beta 444431 (මැන්දිස් 2017:178) කොක්එබේ සුසාන භූමිය ආශ‍්‍රිතව වාර්තාවන අනෙක් සුසාන ආකෘති ලෙස ශිලා කේතුක සූසාන, ශිලා පෙළ (Stone Alignment) බරණි සුසාන පවතින බව පෙන්වාදිය හැකි ය. කොක්එබේ සුසාන ආකෘතිවලින් මීලගට පැරණි කාලනීර්ණ ලැබී ඇත්තේ ශිලා පෙළ සුසානය සඳහා ය. එහි කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 770 වේ Beta 444432 (මැන්දිස් 2017:177-179). මෙම ශිලා පෙළ සුසානය මීටර් 15 දිගට එක පෙළට සිටුවන ලද ශිලා පුවරු දෙපසින් සුසාන බරණි තැන්පත් කර නිර්මාණය කර තිබෙන සුසානයකි. මෙම සුසානයේ 2016 වර්ෂයේ දී පුරාවිද්‍යා කැනීම සිදු කරනු ලැබුවේ එහි හරියටම මැද කොටසේ මීටර් 4×2 ප‍්‍රමාණයේ පරිශ‍්‍රයක ය. එම කැනීම් පරිශ‍්‍රයේ පමණක් සුසාන බරණි 25 කැනීමේ දී වාර්තා විය. මෙම ශිලා පෙළ සුසානය නිර්මාණය කර ඇත්තේ බොහෝ විට එක් පවුලක සුසානයක් ලෙස හෝ එසේ නොමැති නම් පොදු සුසානයක් ලෙස බව උපකල්පනය කළ හැක්කේ එතරම් විශාල සුසාන බරණි ප‍්‍රමාණයක් එහි දක්නට ලැබෙන බැවිනි. මෙම ශිලා පෙළෙහි ආම්භය එහි දෙකෙලෙවරෙහි කුමන කොටස තුළින් සිදු වූවා දැයි තවම නිශ්චය කර නොමැත. මෙම සුසානය කොක්එබේ මෙගලිතික සුසානයේ පැරණිතම සුසානය විය හැකි බව උපකල්පනය කළ හැක්කේ එහි මැද කොටසේ කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 770 තරම් පැරණි වන නිසාත් එහි ආරම්භය බොහෝ විට ක‍්‍රිස්තු පූර්ව 1,000 හෝ ඊට පෙර කාලයට ගමන් කිරිමට වැඩි ඉඩ ප‍්‍රස්ථා තිබෙන බැවිනි. එසේම සුසාන ආකෘතියක් ලෙස ඉතා ප‍්‍රාථමික ආකාරයකට නිර්මාණය කර ඇති මෙම සුසානය එම සංස්කෘතියේ සංවර්ධන අවස්ථාවක නොව සමාරම්භක අවස්ථාවක නිර්මාණය කරන ලද්දක් විය හැකි බව ද පෙන්වාදිය හැකි ය. කොක්එබේ සුසාන භූමිය ඇසුරින් සිදු කළ පර්යේෂණ කැනීම්වලින් ලැබී ඇති මීළග කාලනීර්ණය ක‍්‍රිස්තු වර්ෂ 5-125 Bete 444430 කාලයට අයත් වන බැවින් දළ වශයෙන් මෙම සුසානය අඛණ්ඩව අවුරුදු 920ක් පමණ භාවිත වී තිබෙන බව පෙන්වාදිය හැකි ය.

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වරූපය දැනට සිදු කර ඇති අධ්‍යයනය අනුව විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ එහි මධ්‍ය කොටසේ මුලින් ස්ථාපිත වූ ජන කණ්ඩායම් ක‍්‍රමාණුකූලව සීගිරිය නිම්නය දෙසටත් පුල්මුඬේ දෙසටත් ව්‍යාප්ත වී ඇති බවය. එසේ පෙන්වාදිය හැක්කේ සීගිරියට නුදුරු කලවැල්ලා උල්පත ස්ථානයේ ඇති මෙගලිතික සුසානයේ කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 520-200 (Jayaratne 2016:27) ලැබී තිබීම කොක්එබේ කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 790 – ක‍්‍රිස්තු වර්ෂ 125 දළ වශයෙන් වසර 950 භාවිත වී තිබේ (මැන්දිස් 2017:178). හා තම්මැන්නාගොඩැල්ල ක‍්‍රිස්තු පූර්ව 490 – ක‍්‍රිස්තු වර්ෂ 350 (දිසානායක 2017 වර්ෂයේ සිදුකළ සාකච්ඡ‌ාව). දළ වශයෙන් වසර 750 ක් භාවිත වී තිබේ. එසේම වාහල්කඩ ක‍්‍රිස්තු පූර්ව 400-200 වශයෙන් ලැබී තිබීම තුළින් දළ වශයෙන් වසර 200 භාවිත වී තිබෙන බව (එස්.ටී.ජී. ප‍්‍රියන්ත සමඟ 2018 සිදු කළ සම්මුඛ සාකච්ඡ‌ාව) කාලනීර්ණ අනුව පැහැදිලි වන බැවිනි. මධ්‍ය යාන් ඔය නිම්නයේ කහටගස්දිගිලිය, හා හොරොව්පොතාන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ ස්ථානගතව ඇති මෙගලිතික සංස්කෘතියට අයත් සුසාන අතරින් විවිධ ආකෘතියේ සුසාන ආකෘති මෙම ප‍්‍රදේශ ඇසුරින් ස්ථානගතව තිබේ. ඒ අතරින් මෙරට දුර්ලභ ඝනයේ සුසාන ආකෘතියක් වන ශිලා කේතුක සුසාන (Cairn Mound/Heap) කොක්එබේ, පරංගියාවාඩිය, හුරුළු නිකවැව වලස්මුල්ල යන ස්ථානවල දක්නට ලැබේ. එසේම තවත් විශේෂ සුසාන ආකෘති බවට උපකල්පනය කළ හැකි ශිලා ටැඔ (Menhir) වර්ගයේ සුසානයක් තම්මැන්නාගොඩැල්ල ආශ‍්‍රිතවත් ශිලා මඤ්චක සුසානයක් (Delmenoid) වර්ගයේ සුසාන වියහැකි සුසාන ගල්ඇදකටුවේ හා වාහල්කඩ තිබීම තුළින් පැහැදිලි වන්නේ ද මධ්‍ය යාන් ඔය නිම්නයේ පොකුරක් ආකාරයට ස්ථාපිත වූ පූර්ව ඓතිහාසික ප‍්‍රජාව ක‍්‍රමානුකූලව ජනරේඛනයේ ප‍්‍රසාරණය සමඟ යාන් ඔයේ ඉහළට හා පහළට ගමන් කර සිය ජනාවාස පිහිටුවා ගෙන තිබීම නිසා එම ජනාවාස ව්‍යාප්ත වීමේ රටාව මධ්‍ය යාන්ඔය නිම්නය කේන්ද්‍රගත කර ගෙන සංවර්ධනය වී ඇති බව ය. දැනට සිදු කර තිබෙන පුරාවිද්‍යා අධ්‍යයන අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස අනුරාධපුර ඇතුළුනුවර ඇසුරින් වාර්තා වී තිබුණ ද මෙම සංස්කෘතිය යාන් ඔය නිම්නයේ ආරම්භ වී අනුරාධපුර දෙසට ව්‍යාප්ත වීමට බොහෝ ඉඩ ප‍්‍රස්ථා පවතින බව පෙන්වාදිය හැකි ය.

පරිශිලනය කරන ලද ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • මනමේන්ද්‍ර ආරච්චි සහ ගාමිණී අදිකාරි (2014), අනුරාධපුර පුරා ජෛව විවිධත්වය හා වර්තමාන ජෛව විවිධත්වය, ජෛව විවිධත්ව ලේඛම් කාර්යාලය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයල කොළඔ.
  • මැන්දිස්, තුසිත (2008), වෙස්සගිරිය බඩවැටි පර්යේෂණ කැනීම, වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2006, සංස්. සුදර්ශන් සෙනෙවිරත්න හා පියතිස්ස සේනානායක, මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඔ. 48-56.
  • මැන්දිස්, තුසිත (2016), මධ්‍ය යාන්ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව, The Proceeding of Second Archaeology Research Symposium, Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihinthale. 150-153.
  • මැන්දිස්, තුසිත, නුවන් අබේවර්ධන හා චන්දන රෝහණ විතානාච්චි (2016), අනුරාධපුර දීඝ පාෂාණය ආශ‍්‍රිත මානව ජනාවාසකරණය, කර්තෘ ප‍්‍රකාශන.
  • මැන්දිස්, තුසිත (2017), කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත කැනීම, මධ්‍ය යාන් ඔය නිම්නයේ ජනාවාස පුරාවිද්‍යාව, පර්යේෂණ හා ප‍්‍රකාශන අරමුදල, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ, 128-179.
  • Cooray, P.G. (1984), An Introduction to the Geology of Sri Lanka (Ceylon), Colombo, National Museums of Sri Lanka.
  • Deraniyagala, S.U. (1972), The Citadel of Anuadhapura: Excavation in the Gedige area, Ancient Ceylon no.02, 48-165, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka, An Ecological Perspective, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala,S.U. & M. Abeyratne (1997), Rediocarbon Chronology of Anuradhapura,Sri Lanka:A Revised Age Estimate,  South Asian Archaeology, vol.ii Stituto Italiano Per Africa Luriente, 2000.
  • Jayarathne, D. K. (2016), Geoarchaeoloical Approach to the Ihala Kalawella Ulpatha Cist Burial Site and It’s Adjoining Cultural Landscape at Anuradhapura District of Sri Lanka. Ancient Ceylon No. 25, Department of Archaeology,Sri Lanka. 25-42.
  • Paranavitane, S. (1970), Inscription of Ceylon, Vol. I , Department of Archaeology. Colombo.
  • Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No.5: 237-305, Archaeological Survey Department, Colombo.
  • Seneviratne, S. (1989), Pre State Chieftain and Servants of the State : A case study of  the parumuka. In the Sri Lanka Journal of Humanities. Vol. XV.No.1 & 2 99-131, University of Peradeniya.
  • Seneviratne, S. (1995), The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North- East Sri Lanka In Sri Lanka Journal of Humanities. Vol. xxi (1&2):114-146
  • Seneviratne, S. (2007), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Art and Archaeology of Sri Lanka, Central Cultural Fund, Ministry of Cultural Affirs, 135-202.
  • Seneviratne, S. (1996), Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and social Organization in Sri Lanka Tradition Dissent and Ideology : Essay in Honor of Romila Thapar, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press. Delhi: 265-312
  • Thanthilage, A. (2007), An Archaeo-Metallurgical Investigation of Sri Lankan Historical Bronzes, Unpublished PhD Thesis.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.10.15 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

අනුරාධපුරය හා එහි නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශය අතර පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ සම්පත් පරිහරණය

ආචාර්ය තුසිත මැන්දිස්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

හැඳින්වීම

තුසිත මැන්දිස්

ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්භවන (හැඩගැසීමේ) යුගය වශයෙන් හැඳින්විය හැකි ය (Seneviratne 1996:265). මෙම සංස්කෘතික අවධිය ඇසුරෙන් ශ‍්‍රි ලංකාවේ මානව ආයතනවල ඉස්මතු වීම සම්බන්ධ ද්‍රව්‍යාත්මක සංස්කෘතික තොරතුරු ප‍්‍රාග් ඓතිහාසික යුගය හා සසඳන විට සාපේකෂ වශයෙන් වැඩි ප‍්‍රමාණයක් හඳුනාගැනීමට හැකි ව තිබේ. ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී එම සංස්කෘතිය විවිධ කාල පරාසයන් තුළ ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව තිබූ බව විකිරණමාන දින නියම කිරීම් මඟින් ලබාගත් කාලානුක‍්‍රම මඟින් තහවුරු කර ඇත. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන ආකාරයට මෙම තාක්ෂණික සංස්කෘතියේ ව්‍යාප්තිය උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ දිග, උත්තර මලය රට, බස්නාහිර මෙන් ම අග්නිදිග ශ‍්‍රි ලංකාව ආදී ප‍්‍රදේශ ඇසුරෙන් හඳුනාගත හැකි ය (Seneviratne 1984:237-265). සෙනෙවිරත්නගේ හා ජයරත්නගේ පර්යේෂණ තොරතුරුවලට අනුව මෙම සංස්කෘතියට අයත් ජනාවාස හා සුසාන ස්ථාන 44ක් පමණ හඳුනාගෙන තිබේ (Seneviratne and Jayaratne 2006:10). නමුත් වර්තමානයේ විවිධ පර්යේෂණයන්ට අනුව ජනාවාස හා සුසාන ස්ථාන 60කට වඩා වැඩි බව වාර්තා කර ඇත. සෙනෙවිරත්න වැඩි දුරටත් විස්තර කර ඇති අකාරයට ශී‍්‍ර ලංකාව තුළින් හමුවන පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන වර්ග අතර urn/pot, pit with capstone, Cairn with tamules, Cairn circle extended, Cist with Capstone, Twin cist Delmenoid cist හඳුනාගත හැකි ය (Seneviratne 1984:265).

පූර්ව ඓතිහාසික අවධියට අයත් සංස්කෘතිය ක‍්‍රිස්තු පූර්ව 1,200 කලක සිට දකුණු දිග ඉන්දියාවේ ස්ථානගත ව තිබූ බව දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව තහවුරු වේ (Posshel 1990 in Deraniyagala 1992:734). නමුත් ආදිච්චනල්ලූර්හි 2005 වසරේ සිට සිදුකළ පර්යේෂණවල දී දකුණු ඉන්දියාවේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය ක‍්‍රිස්තු පූර්ව 1,800 දක්වා ඈතට දිවයන බව සොයාගෙන ඇත (www.archealogy online netartifa ctsiron-ore.html. docx1-8). මේ දක්වා විවිධ පර්යේෂණයකයන් සිදුකර ඇති පර්යේෂණ තොරතුරුවලට අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය පුළුල් ඉන්දීය තාක්ෂණ සංස්කෘතියක ප‍්‍රහිිච්ජින්න පැතිකඩක් බව ය. ඒ අනුව විවිධාකාර මෙගලතික සුසාන සංකිර්ණයන්ගේ විශේෂත්වය දෙස බැලීමේ දී ඒවා විවිධාකාර ප‍්‍රාදේශීය විෂමතාවන්ගෙන් යුක්ත ව ගංගා නම් මිටියාවතේ සිට ශ‍්‍රි ලංකාව දක්වා ව්‍යාප්තව ඇති සංස්කෘතිකයක් බව දැරණියගල පෙන්වා දී ඇත (Deraniyagala 1992:734).

විමර්ශනය

අධ්‍යයනයට ලක්කරනු ලබන අනුරාධපුරය හා නැඟෙනහිර පර්යන්තය වශයෙන් වෙන්කර මෙහි හඳුන්වා ඇත්තේ අනුරාධපුර පුරාණ නාගරික ප‍්‍රදේශය හා අනුරාධපුර නගරයෙන් නැඟෙනහිර සාර්ව කලාපයයි. අනුරාධපුරය හා නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශ වල පැවති පූර්ව ඓතිහාසික අවධියේ සන්දර්භයන් සමඟ ද සාපේක්ෂ අධ්‍යනයන් සිදුකිරිම තුළින් පූර්ව ඓතිහාසික අවධියේ පුරාවිද්‍යාව හා ජීවනෝපාය ආශ‍්‍රිත සම්පත් පරිහරණය පිළිබඳ ව තොරතුරු හඳුනාගත හැකි ය (Seneviratne 1995:15).

ජලය පස හා ඛනිජ සම්පත් පදනම් කර ගෙන උතුරු මැද පළාතේ වාසභූමි ඇතිකර ගන්නා පූර්ව ඓතිහාසික ජනතාව ප‍්‍රධාන වශයෙන් ම කලාඔය, මල්වතු ඔය හා යාන්ඔය නිම්න ආශ‍්‍රය කර ගනිමින් ජනාවාස පිහිටුවා ගන්නා බව පැහැදිලි වේ. වියළි කලාපය හරහා ගලා බසින ප‍්‍රධාන ගංගා ආශ‍්‍රිත එහි පුළුල් නිම්න ප‍්‍රදේශය තුළ මූල ඓතිහාසික අවධියට අයත් ජනාවාස හා සුසාන 20කට වඩා වැඩි ප‍්‍රමාණයක් ස්ථානගත ව තිබීම සැළකිය යුතු ය. මෙම ජනාවාස හා සුසාන වල ව්‍යාප්තිය දෙස බැලීමේ දී අධ්‍යයනයට ලක්කරන ප‍්‍රදේශයට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් මෙම සංස්කෘතියේ වැඩි ව්‍යාප්තියක් පෙන්වන අතර උතුරු හා බටහිර කලාපවලින් අඩු ව්‍යාප්තියක් ගෙන හැර දක්වයි. ඒ අනුව, අනුරාධපුර නගරයට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශයේ පිහිටන තම්මැන්නාගොඩැල්ල, වඩිගවැව, කොක්එඹේ, ගුරුගල්හින්න, දිවුල්වැව, තිබිරිවැව, වළහවිද්දවැව, ගල්ඇදකටුව, ඕලුවැව, නිකවැව, මරදන්මඩුව හා රඹෑව ආදී ක්ෂුද්‍ර ක්ෂේත‍්‍ර වල මෙම ජනතාව පොකුරක් ආකාරයට (Cluster) ස්ථානගත වීම සැළකිය යුතු කරුණකි. උතුරු මැද පළාත ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධ වඩා පැරණිත ම සාධක ලැබෙන්නේ අනුරාධපුර ඇතුළුපුරයෙනි. එහි කාල නිර්ණ ක‍්‍රිස්තු පූර්ව 900 දක්වා ඈතට ම දිවයයි (Deraniayagala 1992:709). යාන්ඔය මධ්‍ය නිම්නය තුළ පූර්ව ඓතිහාසික අවධියේ ස්ථානගත ව ඇති ජනාවාසයන්හි සන්දර්භය පිළිබඳ ව විමසීමේ දී එම ජනපද වල ජීවත් වූ මිනිසුන් නිර්මාණය කර ඇති මෙගලිතික සුසාන ආශ‍්‍රිත ව ලැබී ඇති කාලනීර්ණ අනුව කොක්එබේ ක‍්‍රිස්තු පූර්ව 800 (මැන්දිස් 2016), තම්මැන්නාගොඩැල්ල ක‍්‍රිස්තු පූර්ව 490 ලෙස කාබන් කාලනීර්ණ ලැබී තිබේ (රංජිත් දිසානායක සමඟ සිඳුකළ සම්මුඛ සාකච්චාව 2014).

මධ්‍ය යාන්ඔය නිම්නය තීරණාත්මක වැදගත්කමකින් යුත් සම්පත් තිබුණු ප‍්‍රදේශයක් වශයෙන් හඳුනාගත හැකි ය. අධ්‍යයනයට අදාළ ව සිදුකළ ක්ෂේත‍්‍ර විමර්ශන කටයුතු වල දී මෙම සාර්ව ප‍්‍රදේශය ආශ‍්‍රිත දැකගත හැකි පාරිසරික තත්ත්වයන්ට අනුව එහි පාරිසරික පදනම පූර්ව ඓතිහාසික ජනාවාස ස්ථානගත වීමට ඍජු ව බලපා ඇති බව පෙනේ. මධ්‍ය යාන්ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශය විජයානු සංකීර්ණයට හා උස්භූමි ශ්‍රේණියට අයත් අන්තර් භූ කලාපයේ පිහිටා තිබේ (Corray 1984:381). මෙම ප‍්‍රදේශවල භූ තලය මත වූ ප‍්‍රධාන පස් වර්ගය වනුයේ රතු දුඹුරු පස් සහ ඒවායේ දියබස්නා සබැඳියෝ ය (Reddish brown earths and their drainage associates) (එම:292). මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත ව පූර්ව ඓතිහාසික අවධියේ පුළුල් පරිසරය සැකසී ඇත්තේ හුදෙකලා කඳු කිහිපයකින් යුතු සරු පස සහිත පරිසර පද්ධතියක් තුළ ය. මෙම හුදෙකලා කඳු ආශ‍්‍රිත පරිසර පද්ධතිය තුළ පූර්ව ඓතිහාසික ජනාවාස ගණනාවක් ස්ථානගත වන බව හඳුනාගත හැකි ය. හුදෙකලා කදු ස්ථානගත වීම නිසා බොහෝ විට එම භූමිවල සමෝච්ඡ විවිධත්වයක් නිර්මාණය වී තිබේ. භෞතික ලක්ෂණ අනුව මෙ වැනි ස්ථානවල ස්වභාවික භූ පතනයන් (Hollow) නිර්මාණයට එම සමෝචඡ විවිධත්වය උපයෝගී වේ. එම නිසා මෝසම් වර්ෂාව සක‍්‍රීය වීමෙන් ලැබෙන අහස් ජලය හා අන්තර් මෝසම් කාලවල දී ලැබෙන අහස් ජලය මඟින් මෙම ස්වභාවික භූ පතනය පොකුණු නිර්මාණයට බල පා ඇති බව උපකල්පනය කළ හැකි ය. ප‍්‍රදේශයේ පහත් නිම්නය අශ‍්‍රිත ව යාන්ඔය ගලා බසින අතර එයට තරමක් උස් සරුබිම් වල මෙම හුදෙකලා කඳු ආශ‍්‍රය කර ගනිමින් මූල ඓතිහාසික ජනාවාස ස්ථානගත වන්නේ මෙ වැනි භූ පතන හා සරු පස උපයෝගී කර ගනිමිනි (Seneviratne 1996:285). මධ්‍ය යාන්ඔය නිම්නය තුළ පූර්ව ඓතිහාසික සුසාන බහුතරයක් මුල් බැස තිබෙනුයේ මෙවැනි භූ පතන ලක්ෂණ ප‍්‍රදේශ ආශ‍්‍රිත ව බැවින් ජනාවාස ද එම ප‍්‍රදේශය ආසන්නයේ පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

අනුරාධපුරයෙන් නැඟෙනහිර පර්යන්තය ආශ‍්‍රිත ව මුල් යකඩ යුගයේ පොකුරු ජනාවාස (Cluster Settlement) ඇතිවීම සඳහා මධ්‍ය යාන්ඔය නිම්නයට ආසන්න ම භූ කලාප ආශ‍්‍රයෙන් ධනවත් ඛනිජ වර්ග හා පාෂාණවල පිහිටීම ද ඒ සඳහා බලපාන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය. ශ‍්‍රි ලංකාවේ මූලික වශයෙන් යකඩ භාවිත කළ යුගය හා සම කාලීන ව තඹ ආශ‍්‍රිත ඛනිජ සම්පත් පරිහරණය කළ බවට සාක්ෂි ලැබී තිබේ (Seneviratne 1994:16). ශ‍්‍රි ලංකාවේ විශේෂ ලෙස තඹ නිධිගත වී ඇති ප‍්‍රදේශයක් ලෙස වර්තමාන සේරුවිල හඳුනාගෙන ඇත. 1971 ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවිල කේන්ද්‍රගත වී ඇති ඛනිජ සම්පත් පිළිබඳ ව විද්‍යානුකූල අධ්‍යයනයන් මුල් වරට සිදුකරන ලදි (එම 1995:116). 1821 දී බි‍්‍රතාන්‍ය ජාතික ‌ඩේව් (Davy) විසින් මේ ප‍්‍රදේශයේ රාශිභූත ව පැවති මැග්නටයිට් යපස් (Magnatite ore), ටෙනන්ට් (Tenant) විසින් රසදිය (Mercary) පිළිබඳ ව සටහන් කර ඇත (එම). භූ විද්‍යා පර්යේෂණ අනුව සේරුවිල මැග්නටයිට් තඹ (Copper magnatite) නිධි සම්භවය ලබා ඇත්තේ නැඟෙනහිර විජයානු සංකීර්ණය හා උස්භූමි ශ්‍රේණිය හමු වන්නා වූ අන්තර් භූ කලාපයේ ය (එම 1992:4). ත‍්‍රිකුණාමල ප‍්‍රදේශයේ සිට දකුණේ අම්බලන්තොට වෙරළ දක්වා වූ සැතපුම් 250ක් දිගැති අන්තර් කලාපයේ සේරුවිල දී වඩාත් පොළොව මට්ටමට ප‍්‍රවිෂ්ට ව ඇති විපරිත පාෂාණ ඛණ්ඩය ඉතා ම ධනවත් ඛනිජ සම්පත්වලින් යුක්ත ය (එම). එහි තඹ (Copper), මැග්නටයිට් (magnatite), රිදී (Silver), බිස්මත් (Bismath), සින්ක් (Zinc), මයිකා (Mica), ක්‍රොමියම් (Cromiaum), නිකල් (Nickel) යන වටිනා ඛනිජ ද්‍රව්‍යය ද ඉතා ගැඹුරු කොටස්වල රත්ත‍්‍රරන් ද පිහිටා ඇත (එම). එසේ ම ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් පිහිටන පාෂාණ අතර චානොකයිට් නයිස් (Charnokite gneisses) තිරුවානා (Quartz) හා යකඩ ගල් ද (Iron Stone) පිහිටා තිබේ (Corray 1984:212; Seneviratne 1995 (116). භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවිල තඹ නිධිය ආශ‍්‍රිත ව සිදු කරනු ලැබූ පර්යේෂණවල දී එහි ටොන් මිලියන 7ක මැග්නටයිට් තඹ මතුපිට පොළොව මට්ටමේ සිට අඩි 200ක් ගැඹුරින් පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ (Seneviratne 1995:117). ඛනිජ හා පාෂණ මුල් යකඩ යුගයේ ජනතාවගේ ජීවන පැවැත්මට අදාළ සම්පත් පරිභෝජන රටාවේ මූලික අංගයන් වී ඇත. එ බැවින් මධ්‍ය යාන්ඔය නිම්නය හා ඒ ආශ‍්‍රිත නැඟෙනහිර සීමාව තුළ එනම් කදිරවේලි ප‍්‍රදේශයෙන් ද මුල් යකඩ යුගයේ ජනාවාස ස්ථානගත වීම සඳහා මෙම ඛනිජ සම්පත් වල පිහිටීම ද ඍජු ව බලපා ඇති බව පෙනේ.

සේරුවිල පිහිටි භු විෂමතාව අනුව පොළෙව මතු පිටින් ඉතා පහසුවෙන් තඹ ලබා ගත හැකි ආකාරයට ඒවා නිධිගත වී ඇත (එම:118). සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන අකාරයට මහාවංසයේ තම්බපිට්ඨ යනුවෙන් සඳහන් වන්නේ මතුපිටට නෙරා ඇති තඹ නිධි බව පෙන්වා දී ඇත (එම). සේරුවිල ප‍්‍රදේශයෙන් ලැබෙන පුරාවිද්‍යාත්මක දත්ත අනුව එහි ජනාවාසය ක‍්‍රිස්තු පූර්ව 8 වැනි සියවසට පෙර යුගයට දක්වා දිවයන බව විශ්වාස කෙරේ (Seneviratne 1992:4). අනුරාධපුර ඇතුළුපුරයේ ක‍්‍රිස්තු පූර්ව 6 වන සියවසට පෙර ජනාවාස වලින් මූලික ලෙස ලෝහ භාවිත කළ බව හඳුනාගෙන ඇත (එම). ග‍්‍රාමීය සමාජ තමන්ට අවශ්‍ය තඹ අමුද්‍රව්‍යයක් වශයෙන් සේරුවිල ප‍්‍රදේශයෙන් ලබා ගත් බව විශ්වාස කෙරේ (එම 1994:17). 1987 වර්ෂයේ දී අනුරාධපුර මූල ඓතිහාසික අවධියට අයත් ලෝහ මෙවලම් ආශ‍්‍රිත ව සිදු කළ රසායනික හා සූක්ෂ්ම මූලද්‍රව්‍යය විශ්ලේෂණයන්ට අනුව එම මෙවලම් වල අඩංගු ලෝහ සංයුතිය සමීප වන්නේ සේරුවිල ලෝපස් නිධියේ සංයුතියට බව සොයාගෙන ඇත (එම 1995:123).

මෙම තත්ත්වය අනුව සේරුවිලින් මතුපිටින් ලබාගත හැකි තඹ පාරිශුද්ධ භාවයෙන් ඉතා උසස් නිසා පෞරාණික සමාජය ඒවා වැදගත් කොට සළකනු ලැබ ඇත (එම 1994:17). ක‍්‍රිස්තු පූර්ව 8 වැනි සියවසට පෙර මෙම නිධිය ආශ‍්‍රිත ලෝහ සම්පත් භාවිත කළ බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 8 සහ 7 වැනි සියවසට පෙර සිට නැඟෙනහිර ප‍්‍රදේශය ආශ‍්‍රිත ව පදිංචි වන ජනයා ඒ සඳහා මූලය කරගන්නට ඇත්තේ සේරුවිල නිධියේ ලෝහ සම්පත් බව පැහැදිලි වේ. එම තත්ත්වයන් මත මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත පොකුරු ජනාවාස බිහිවීම අරුමයක් නොවන අතර, මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිත ලෝහ සම්පත් පරිභෝජන ක‍්‍රියාවලිය පූර්ව ඓතිහාසික අවධියේ සිට මුල් ඓතිහාසික හා මධ්‍ය ඓතිහාසික අවධිය දක්වා ම අඛණ්ඩ සිදු වූ ආකාරය සාහිත්‍ය මූලාශ‍්‍රය හා අභිලේඛන තොරතුරු වලින් ද හඳුනාගත හැකි ය.

මුල් ඓතිහාසික අවධියේ දී එම ලෝහ සම්පත් අත්පත්කර ගැනීමේ කාර්යයේ දී පූර්ණ බලය සහිත පරුමකවරුන්ගේ කාර්ය (Powerful parumuka families) තීරණාත්මක වී ඇති ආකාරය කුරුණෑකල්ලූ පූර්ව බ‍්‍රාහ්මී අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකි ය (IC.Voli 1970:No.319). සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන ආකාරයට එම ලිපියේ සඳහන් වන පරුමක තබර යන්න මඟින් තඹ කර්මාන්තයේ පාලනය එහි දී පරුමකවරු අතෙහි තබාගත් බව පැහැදිලි කර ඇත (Seneviratne 1989:115). අනුරාධපුර නැඟෙනහිර ප‍්‍රදේශයේ පිහිටි ලෝහ සම්පත් අත්පත්කර ගැනීම, ප්‍රවාහනය හා නිමි භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධ ක‍්‍රියාවලිය විශේෂ ප‍්‍රාගුණ්‍යතාව සහිත ව පවත්වා ගෙන ගිය බව මුල් බ‍්‍රාහ්මි අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකි ය. සෙනෙවිරත්න පෙන්වා දී තිබෙන ආකාරයට ධාතුවංසයේ සඳහන් වන මහාවාරිකා මග්ග, තම්බතිත්ථ (තඹ හුවමාරු තොටුපළ) සේරු නුවර සිට උතුරුමැද පළාතට හා අනුරාධපුරයට නිෂ්පාදන බෙදා හැරීම සඳහා පැවති ප‍්‍රධාන මාර්ග වේ (Seneviratne 1995:130). මෙම නිෂ්පාදන බෙදා හැරීම් ක‍්‍රියවලියට දායත්වය දැක් වූ ගමිකවරු හා ගහපති කණ්ඩායම් පිළිබඳ ව අභිලේඛනවල සඳහන් වේ. ඒ අතර මුතුගල ලිපියේ ගහපති කබර (යකඩකරු) හා තවත් ලිපියක ගමික තොඩික (තොටුපල පාලක) (IC. Vol i. 1970:301, 309) යන්නෙන් නිෂ්පාදන හා බෙදා හැරීම් පිළිබඳ ව හඳුනා ගත හැකි ය (Seneviratne 1995:131).

පරුමකවරු සතු ව තිබූ ලෝහ සම්පත් වල පූර්ණ පාලන බලය නිසා අනුරාධපුරය වඩා දියුණු නගරයක් දක්වා වර්ධනය වීම ඔස්සේ එහි සංස්කෘතික භූ දර්ශනයේ හැඩ ගැසීම සඳහා මුල් ඓතිහාසික යුගයේ සිදුවූ කාර්යභාරය වැදගත් වේ. එහි දී පරුමකවරුන්ගේ පාලන බලය සේරුවිල සිට අනුරාධපුරය දක්වා විහිදුණු නිෂ්පාදන බෙදා හැරීම් ජාලය ඔස්සේ හඳුනාගත හැකි අතර ඒ ඒ ශිල්ප කටයුතුවල දී විශේෂ ප‍්‍රාගුණ්‍යතාවන් ඇති ව මධ්‍ය යාන්ඔය නිම්නයේ පෙරියපුලියංකුලම, කැබිතිගොල්ලෑව, බ‍්‍රාහ්මණයාගම, නැට්ටුක්කන්ද, කහටගස්දිගිලිය ආදී ස්ථාන ඇසුරෙන් කි‍්‍රයාත්මක වී තිබේ. මුල් බ‍්‍රාහ්මී අභිලේඛනවල ලෝහ කර්මාන්තය ආශ‍්‍රිත විශේෂ ප‍්‍රාගුණ්‍යතාවන් එම ප‍්‍රදේශ වල පවත්වා ඇත්තේ පරුමක නොවන ජන කණ්ඩායම් විසිනි. පෙරියපුලියන්කුලමේ මුල් බ‍්‍රාහ්මි ලිපිවලින් තබකර (තඹකරු), තොපශ (බෙලෙක්කරු) ආදි කර්මාන්ත පිළිබඳ ව සඳහන් වේ (IC. Vol. i; 1970:No.350, No.351, No.370). පෙරියපුලියන්කුලම ප‍්‍රදේශයේ වාණිජ කටයුතු (වණිජ) සම්බන්‍ධ ක‍්‍රියාවලියේ නිරත පිරිස් පිළිබඳ ව සඳහන් වේ (එම:No.356, No.357). එ මඟින් නිෂ්පාදන බෙදා හැරීම් සම්බන්‍ධ කි‍්‍රයාවලිය මහාවාරිකා මග්ග ඔස්සේ අනුරාධපුරය දත්වා සිදුකර ඇති බව සෙනෙවිරත්න පෙන්වා දී ඇත (Seneviratne 1995:132). මහාවාරිකා මග්ග වශයෙන් අනුරාධපුරය දක්වා විහිදුණු නැඟෙනහිර පර්යන්තයට සම්බන්‍ධ වූ මාර්ගය ආශ‍්‍රිත ව යකඩ කර්මාන්තයට සම්බන්‍ධ විශේෂ ප‍්‍රාගුණ්‍යතාවක් දැක් වූ පිරිස් පිළිබඳ ව බ‍්‍රහ්මණයාගම කබර (යකඩකරු) (IC. Vol. i; 1970:No.161). නැට්ටුක්කන්ද කබරගම (යකඩකරුවන්ගේ ග‍්‍රාමය) (Nicholas Vol.ii 80. No. 6). කහටගස්දිගිලිය කබරවවි (Uduwara 1991:211) කැබිතිගොල්ලෑව ආචාරියාගම (නිෂ්පාදකයින්ගේ ගම) (Seneviratne 1995:132) සඳහන්වීම තුළින් ලෝහ කර්මාන්තය සඳහා විශේෂ වූ හැඩ ගැසීමක් මෙම ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් හඳුනාගත හැකි ය. මේ ක‍්‍රියාවලිය පූර්ණ වශයෙන් අනුරාධපුරය හා බද්ධ වූ ක‍්‍රියාවලියක් බව ක‍්‍රිස්තු වර්ෂ 350 පමණ කාලයට අයත් කැබිතිගොල්ලෑව ආසන්නයේ පිහිටා ඇති ලබුඇටබැඳිගල ශිලා ලිපිය මගින් සනාථ වේ. එම ශිලා ලිපියේ අනුරාධපුර නගරයේ නැඟෙනහිර ක‍්‍රියාත්මක වූ වෙළඳපොළ හඳුන්වා ඇත්තේ මහා තබක නිගම (තඹකරුවන්ගේ වෙළඳපොළ) ලෙස ය (EZ.Vol. iii:1928:33; 247-253). මුල් ඓතිහාසික අවධිය තුළ දමනු ලැබූ විශේෂ ප‍්‍රාගුණ්‍යතා‌ෙවේ උච්චත ම අවස්ථාව අපට එ මඟින් හඳුනාගත හැකි අතර විශේෂීකරණය වූ ලෝහ වෙළඳපොළක් අනුරාධපුර සංස්කෘතික භූ දර්ශනයට එකතු වී තිබූ බව පැහැදිලි වේ. එම විශේෂීකරණය වූ වෙළඳපොළෙහි උපයෝගීතාව ඇතුළුපුරයේ සිදුකරනු ලැබූ කැනීම් මගින් ද තහවුරු වී තිබේ. AG 69 ගෙඩිගේ කැනීමේ 4B පස් තට්ටුවෙන් ලැබී ඇති තද නිල් පැහැති පාරදෘශ්‍ය පබළු ලැබී තිබේ (Dark Blue transparent Beads). කොක්එබේ මෙගලිතික සුසානය ආශ‍්‍රිත කැනීීම් වල දී ද නිල් හා කොළ පාරදෘෂ්‍ය පබළු ලැබී ඇත (මැන්දිස් 2016). ඒවා නිෂ්පාදනය සඳහා කොබෝල්ට් (Cobalt) නැමති ඛනිජ වර්ගය අවශ්‍ය වේ. සිරාන් දැරණියගල පෙන්වා දී ඇති ආකාරයට කොබෝල්ට් බහුල වශයෙන් සේරුවිල තඹවල අඩංගු වේ (Deraniyagala 1986:44). වීදුරු ආලේප උළු (Glazed tiles) නිෂ්පාදනයට අවශ්‍ය කොපර් ඔක්සයිඩ (Cooper Oxide) ලබා ගැනීමට ද සේරුවිල තඹ වැදගත් වී ඇත (එම 42).

අනුරාධපුර නගරයට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශ අතර පැවති සම්පත් අතර මැටි මෙවලම් නිෂ්පාදනයට අවශ්‍ය කරන්නා වූ මැටි වර්ග වන kaolinite- montmorillonite clay (building clay) ද ස්ථානගත ව තිබේ (Cooray 1984: 222). මෙම Kaolin වර්ගයට අයත් (Building Clay) වශයෙන් හඳුන්වන මැටි විශේෂය මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත ව හඳුනාගත හැකි ය (එම:224 fig. 11-10). ශ‍්‍රි ලංකාවේ මූල ඓතිහාසික අවධියේ දී මැටි මෙවලම් නිෂ්පාදනයට හිමිවන්නේ වැදගත් තැනකි. සකපෝරුව උපයෝගී කර ගනිමින් විවිධ හැඩයන්ට අනුව නිර්මාණය කරන ලද විශේෂ මැටි මෙවලම් වන කාලරක්ත වර්ණ මැටි මෙවලම් (BRW), රක්තවර්ණ මැටි මෙවලම් (RW) හා කාල වර්ණ මැටි මෙවලම් (BW) මෙම අවධියේ දී නිෂ්පාදනය කර ඇත (Seneviratne 1996:276-279). අනුරධපුරය හා ඊට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශ ආශ‍්‍රිත ව ස්ථානගත වන මැටි මෙවලම් නිෂ්පාදනයට අවැසි සම්පත් වල පිහිටීම අතින් මධ්‍ය යාන්ඔය නිම්නය පොහොසත් වන බව පෙන්වාදිය හැකි ය. වර්තමානයේ පවා මේ ප‍්‍රදේශය ඇසුරෙන් සාම්ප‍්‍රදායික ව පවත්වා ගෙන එන මැටි බඳුන් නිෂ්පාදන කටයුතු ප‍්‍රදේශයෙ ස්ථාන කිහිපයක පවත්වා ගෙන යනු දැකගත හැකි ය. මානවවංශ පුරාවිද්‍යා (Ethno-archaerology) අධ්‍යයනයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර මධ්‍ය යාන්ඔය නිම්න ප‍්‍රදේශයේ පිහිටි කුඩා කැලෑගම සාම්ප‍්‍රදායික මැටි මෙවලම් නිෂ්පාදන ග‍්‍රාමය ආශි‍්‍රත ව සිදුකරන ලද ගවේශනය අනුව එම ශීල්පයේ අතීත තත්ත්වයන් පිළිබඳ අවබෝධක් ලබාගත හැකි ය. මෙම විමර්ශනය තුළින් මැටි භාජන නිපදවීමේ කුඹල් කර්මාන්තයේ අතීතය සොයා යන ගමනේ දී මානවවංස දත්ත අර්ථ නිරූපණය කිරීමේ දී කුඩා ජන කණ්ඩායම් හා ඔවුන්ගේ වටපිටාව නිරීක්ෂණය කිරීම ද බෙහෙවින් ම වැදගත් වේ. මානව විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට ප‍්‍රාථමික ජන කණ්ඩායම් අරුත් ගැන්වීමේ දී ඔවුන් මහා සංස්කෘතියෙන් හුදෙකලා වී වෙන ම අනන්‍යතාවක් පෙන්නුම් කරමින් ජීවත් වන කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් අර්ථ දක්වනු ලබයි කුඩා කණ්ඩායම් නිශ්චිත භූමි ප‍්‍රදේශයක වෙසෙමින් ඔවුන්ට ආවේණික භාෂාවක් ව්‍යවහාර කරමින් සංස්කෘතික සමජාතීත්වයෙන් යුතු ව ජීවත් වීම විශේෂ ලක්‍ෂණයකි. ඒ අනුව කුඩා කැලෑගම ගත් කළ ද ඔවුන්ගේ ජීවන චර්යාව හුදෙකලා සමාජයකට සමඟ බද්ධ වී පවතී. භාෂාව, සිරිත්විරිත් ආදිය මහා සංස්කෘතියේ වෙනස් වන අතර ඔවුන් තමන්ට රිසි වෙනම අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් ජීවත් වේ. මධ්‍ය යාන්ඔය නිම්නය ඇසුරින් මෙම ජන කණ්ඩයම් නිෂ්පාදනය කරන මැටි මෙවලම් සාම්ප‍්‍රදායානුකූල තාක්‍ෂණික ක‍්‍රමවේද අනුගමනය කරමින් සිදු කිරීම කැපී පෙනේ.

කුඩා කැලෑගම කුඹල් කර්මාන්ත් නියැලි කේ. සෝමපාල විසින් නිෂ්පාදනය කරන විවිධ මැටි බඳුන් වර්ග අතර කාළ රක්ත වර්ණ මැටි මෙවලම් නිෂ්පාදනය සම්බන්ධ තාක්‍ෂණික අංශ කෙරෙහි ද ඔවුන් සතුව පාරම්පරික ඥානය පවතින බව ඔහු පළ කළ අදහස් අනුව තේරුම් ගත හැකි ය.

ඇතුළත කළු හා පිටත රතු මැටි භාණ්ඩ (BRW) මේ බාජන හදන්නේ අතින් ඒවගේ ම තමයි පුළුස්සන කොට බඳුනේ කට මට්ටමට එනකම් දහයියා පුරවලා පෝරනේ අහුරන කොට මුනින් නමන්නේ නැති ව මිට මොලපු අතේ උස තියෙන්න ඇල කරලා රදවනවා ඊට පස්සේ ගින්දර තිබෙන කොට ඇතුළෙ තියෙන දහයියා වලට හරියට හුළං ලැබෙන්නේ නැති නිසා බඳුන් හරිමැදට වෙනකම් ඇතුළත කළුපාට වෙනවා පිට පැත්ත හොඳට පිච්චුන නිසා රතුපාට වනවා (සෝමපාල සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි).

කාල රක්ත වර්ණ මැටි බඳුන් නිෂ්පාදනය සම්බන්ධ ඔහු විසින් පළ කරනු ලැබූ අදහස් අනුව එම බඳුන් ද්විත්ව වර්ණ ගැනීමට අභ්‍යන්තරයේ අර්ධ දහනයක් හා පිටත පූර්ණ දහනයක් සිදුවන බව විද්‍යාත්මක සිද්ධාන්තයකි. එම විද්‍යාත්මක සිද්ධාන්තය ඔවුන් ලබා ගනු ලැබුවේ අත්දැකීමෙන් පාරම්පරික ඥානය තුළිනි. කාළරක්ත වර්න මැටි බඳුන් මේ වන විට ඔවුන් නිර්මාණය නොකරන අතර ඒවා තනා ඇත්තේ මීට පෙර පරම්පරාවේ රා මදින්නන්ට, අච්චාරු, විනාකිරි හා කිරි මුදවන්නට බව ද ඔහු ප‍්‍රකාශ කරන ලදි. සෝමපාල දක්වන අදහස් අනුව එම බඳුන්වල තැන්පත් කරන ද්‍රව්‍යය නරක් නොවී දිගුකල් පවතින නිසා පැරණිි ගැමි ගෙවල්වල එම බඳුන්වලට හොඳ ඉල්ලුුමක් තිබූ බව ප‍්‍රකාශ කරන ලදි. මෙම තත්ත්වයන්ට අනුව පැහැදිලි ලෙස මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත ව අදටත් නොනැසී පවතින සාම්ප‍්‍රදායික කුඹල් කර්මාන්තය අනාදිමත් කාලයක සිට එම ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් ක‍්‍රියාත්මක ව පවතින පාරම්පරික ශිල්පීය අංශයක් වශයෙන් හඳුනාගත හැකි ය. එ මඟින් පුරාණ ජනාවාස ව්‍යාප්තිය හා එවැනි ප‍්‍රදේශවල පුරාණ ශිල්ප කටයුතු පිළිබඳ ව අධ්‍යයනයට ද මැනවින් ඉවහල් වන බව මානවවංශ විද්‍යා දෘෂ්ඨි කෝණයකින් බැලීමේ දී අවෙබෝධ කරගත හැකි ය. එය එසේ අදාළ කර ගැනීම වැදගත් වන්නේ කි‍්‍රස්තු පූර්ව 950 න් පසු අනුරාධපුරායේ මැටි මෙවලම් භාවිත වූ බවට සාක්‍ෂි ලැබීම නිසා ය (Deraniyagala 1972:104; 1992:709).

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • මැන්දිස්, තුසිත (2016), කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත අප‍්‍රකාශිත පුරාවිද්‍යා කැණීම් වාර්තාව, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
  • Cooray, P.G. (1984), An Introduction to the Geology of Sri Lanka (Ceylon), Colombo, National Museums of Sri Lanka.
  • Deraniyagala, S.U. (1972), The Citadel of Anuadhapura: Excavation in the Gedige area, Ancient Ceylon 2;48-165
  • Deraniyagala, S.U. (1986), Excavation in the Citadel of Anuradhapura: Gedige 1984 Preliminary report; Ancient Ceylon. No 6:39-48.
  • Deraniyagala, S.U. (1990), Radiocarbon dating  of Early Historic Radio Carbon Chronology of Sri Lanka,  Ancient Ceylon. No 12:251-292.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka ; An Ecological Perspective, Colombo, Archaeological Survey Department.
  • Paranavitane,S. (1970), Inscription of Ceylon, Vol. I, Colombo, Department of Archaeology.
  • Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon, No . 5 : 237-305.
  • Seneviratne, S. (1995), The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North- East Sri Lanka, Sri Lanka Journal of Humanities, Vol.XXI (1 & 2):114-146
  • Seneviratne, S. (1996), Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and   social Organization in Sri Lanka Tradition Dissent and Ideology : Essay in Honor of Romila Thapar, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press. Delhi: 265-312
  • Senevirane, S. & D.K. Jayaratne (2006), A Shared Ritual Cultural Symbol: The Megalithic Memorials of South India and Sri Lanka විකල්ප පුරා තත්ත්ව (Alternative Archaeology)    පුරාවිද්‍යා සංගමය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, (1-14).
  • Uduwara, J. (1991), Kahatagasdigiliya Rock Inscription, Epigraphy Zeylanica Vol. vi (pt 2): 211-214.
  • Wikramasingha, D.M.D.Z. (1928), Epigraphia Zeylanica, Vol.II, London, Oxford University Press.
-------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.10.1 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

අනුරාධපුර‌යේ මහා විහාරය

ශ්‍රී ලංකාවේ පළමු වන දේශපාලන හා ආගමික අගනුවර අනුරාධපුරය බව පොදු පිළිගැනිම වී ඇත. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වැනිි සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1,500කට වැඩි  කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි. ලංකාවට බුදු දහම පැමිණ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ නගරය පුරා විශාල ආගමික සිද්ධස්ථාන බිහි විය. දෙස්විදෙස් පතල අධ්‍යාපන මධ්‍යස්ථාන බිහි විය. බෞද්ධ සංස්කෘතිය දස දෙස පතල විය. 12 වැනිි සියවසේ ආක්‍රමණ හේතුවෙන් අගනුවර පොළොන්නරුවට සංක්‍රමණය වුයෙන් මේ අලංකාර නගරය වල්බිහිවන්නට විය.

ඝන කැලෑවෙන් වැසී තිබුණු මේ පුරවරය බෙල්, සෙනරත් පරණවිතාන ආදී පුරාවිද්‍යා කොමසාරිස්වරුන්ගේ හා නිලධාරීන්ගේ  කැපවීම නිසා කටුකොහොල් හෙලිකොට පැරණි ශ්‍රී විභූතිය හෙළිකරගන්නට හැකි වි තිබේ. සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන (මධ්‍යම සංස්කෘතික අරමුදල) අනුව ද අනුරාධපුරයේ ආගමික ස්මාරක සංරක්ෂණය කොට තිබේ. සාරධර්ම හුවමාරුව, සංස්කෘතික සම්ප්‍රදායන් හා විශ්වීය වැදගත් කමක් ඇති සිද්ධි වලට උරුමකම් කියන බැවින් 1982 සිට යුනෙස්කෝ සංවිධානය අනුරාධපුරය ලෝක උරුමයක්  ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.

අද අනුරාධපුරය භක්තිමත් බෞද්ධයන්ගේ පමණක් නොව පැරණි කලාශිල්ප, තාක්ෂණය, වාස්තු විද්‍යාව හා සංස්කෘතිය ආදී නොයෙකුත් ක්‍ෂේත්‍ර පිළබඳව උනන්දුවක් දක්වන බොහෝ සංචාරකයන්ගේ ද සිත්සතන් පුබුදුවාලන පෙදෙසක් වී ඇත.  

අනුරාධපුරයේ පැරණි සිද්ධස්ථාන හා ඓතිහාසික ස්මාරක නැරඹීමේ දී ඒවා පිහිටි ප්‍රදේශ හා ඓතිහාසික තොරතුරු අනුව කලාප කිහිපයකට වෙන්කර ගැනීම පහසුය. ඒ

  1. මහා විහාරය
  2. අභයගිරිය
  3. ජේතවනාරාමය
  4. ථුපාරාමය
  5. ඇතුළු නුවර
  6. දක්ෂිණ විහාරය
  7. පශ්චිමාරාමය
  8. පාචීන තිස්ස පබ්බත විහාරය ආදී වශයෙනි.

මහා විහාරය

මහින්දාගමනයෙන් පසු ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ආරාමික ප්‍රදේශය මහමෙව්නා තිස්සාරාම මහා විහාර ප්‍රදේශයයි. මුටසිව රජතුමා විසින් සකස් කර තිබු මහාමේඝ නම් රාජකීය උද්‍යානය මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස මහා රජතුමා විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට පුජා කරන ලද බව වංශකථාවල සඳහන්වේ. “මහමෙව්නා තිසරම් රද්මහ වෙහෙර” යනුවෙන් සෙල්ලිපි වල සඳහන් වන්නේ දේවානම් පියතිස්ස මහ රජතුමා මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකළ විහාරයයි.

වර්තමානයේ අටමස්ථානය යනුවෙන් හැඳින්වෙන්නේ 1872 දී ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔප්පුවක් මගින් ප්‍රදානය කළ ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, ථුපාරාමය, මිරිසවැටිය, රුවන්වැලි සැය, අභයගිරිය, ලංකාරාමය හා ජේතවනය වන නමුත්මි හිඳු හිමියන් විසින් නම්කළ පුජනිය ආගමික ස්ථාන අටක් පිළිබඳව දීපවංශය, මහ වංශය, සිංහල බෝධිවංශය, පුජාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාකරය ආදී පැරණි පොත පත් වල සඳහන්වේ. ඒවා නම්, තිස්සාරාමය, සංඝයා වහන්සේලාගේ විනය කර්ම කරන කම්ම මාලකය, ජන්තාඝර පොකුණ, ශ්‍රී මහා බෝධිය පිහිටුවන ස්ථානය, පෝය ගෙය, ලහබත්ගෙය, දාන ශාලාව හා රුවන්වැලි සැය ආදියයි. මේ මහා විහාර පරිශ්‍රයේ මිහිඳු හිමියන් නම්කළ පුජනිය ස්ථාන හා තවත් විශේෂ ස්ථාන කීපයක නටබුන් අද දැකිය හැකි ය. ඒවා අතරින් ප්‍රමුඛස්ථානය හිමිවන්නේ ශ්‍රී මහා බෝධියට හා රුවන්වැලි මහා සෑයටයි.

ශ්‍රී මහා බෝධිය

ශ්‍රී මහා බෝධිය
ශ්‍රී මහා බෝධිය

බුදුරජානන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට සෙවන දුන් දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව ක්‍රිස්තු පූර්ව 246 දී පමණ දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීම පරිදි අශෝක රජතුමා විසින් මිහිඳු හිමිගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමගින් වප් මස පුර පසළොස්වක පෝය දිනයක දී ලංකාවට වැඩම කරවන ලදී. ඉන්දියාවේ තාම්රලිප්තියෙන් ශ්‍රී මහා බෝධි අංකුරය සමග නැව් නැගී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවේ දඹකොළ පටුනට ගොඩබැස තිවක්ක බමුණුගම හරහා අනුරාධපුරයට වැඩම කොට ඇත. ඉන්පසු මහමෙව්නාවේ රාජද්වාරයේ  මේ බෝධිය රෝපණය කර ඇත.

ශ්‍රී මහා බෝධිය අද අඩි 21ක් ඉහළින් වන මට්ටම් තුනකින් වන වේදිකාවක වඩාහිඳුවා ඇති අතර වේදිකාවේ දිග අඩි 71ක් හා පළල අඩි 57ක් වේ. ශ්‍රී මහා බෝධිය අද දක්නට තිබෙන මට්ටමට වඩා පහත මට්ටමක රෝපණය කර තිබු බවත්, පසුව බැමි බැඳීම් ආදිය නිසා මේවන විට ඉහල වේදිකාවක මේ බෝධිය පිහිටා තිබෙන ආකාරයක් දැකිය හැකි ය.

දේවානම්පියතිස්ස රජු ලංකා රාජ්‍යයෙන් හා විවිධ පුදපුජා කරමින් බෝධියට උපහාර දක්වන ලදී. ඉන් පසුව ද රාජ්‍යත්වයට පත්වූ සියලුම රජ වරුන්ද සියලු පුජාවන් කිරීම, ගොඩනැඟිලි හා ආරක්ෂාවට ප්‍රාකාර බැඳීම, ආදිය කරවන ලදී. මහානාග රජතුමා වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට දිය අගලක් ද කර වූ බව කියති. බෝධියට ජලය සම්පාදනය කරන ලද්දේ මිරිසවැටිය අසල වූ පොකුණු වලින් බව අනුමාන කෙරේ. දැනට ඇති ප්‍රාකාරය කරවා ඇත්තේ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ ඉලුපැන්දෙනියේ අත්ථදස්සි හිමිපාණන් විසිනි. ස්මාරකවල තිබු ගල්කණු ආදිය මෙයට උපයෝගී කරගෙන ඇත. එය අඩි 10ක් උසින්, උතුරේ සිට දකුණට අඩි 338ක් දිගින්, නැගෙනහිර සිට බස්නාහිරට අඩි 274ක් පළලින් හා අඩි 5ක් ඝනකමින් යුක්ත ය. 1969 දී හා 2003 දී රන් වැට දෙකක් කරවා ඇත. ශ්‍රී මහා බෝධියේ ආවතේව කටයුතු බෝධිය ලංකාවට වැඩම කිරීමේ දී පැමිණි බෝධි භාරක කුල පරම්පරාවලින් පවත එන අයගෙන් ඉටු වේ.

බෝධි ප්‍රාකාරය

බෝධි ප්‍රාකාරය

ශ්‍රී මහා බෝධිය සම්බන්ද ව චාරිත්‍රානුකුල වාර්ෂික උත්සව හතරක් පැවැත්වේ. ඒ දුරුතු මංගල්ලය, පරණ අවුරුදු මංගල්ලය, නානුමුර මංගල්ලය හා කාර්ති මංගල්ලය යනුවෙනි. ශ්‍රී මහා බෝධිය රජ කෙනෙකු සේ සලකන බැවින් සිංහල අවුරුද්දට පසුව නානු මුර මංගල්ලයට පෙර දා සන්ධ්‍යාවේ ශ්‍රී මහා බෝධි රාජයාට ආභරණ පැළඳවීමේ චාරිත්‍රයක් ද ඇත. මේ සඳහා සහභාගී වන්නේ මහා විහාර ස්වාමින් වහන්සේලා හා ආවතේව කටයුතු කරන වෙල්ලිදුර පරම්පරාවේ ප්‍රධානින් පමණි. අනුරාධපුරය වල් බිහිව තිබු කාලයේ බෝධීන් වහන්සේ වන සතුන්ගෙන් ආරක්ෂා කිරීමට බෝධීන් වහන්සේ වටා රාත්‍රියේ දී ගිනි මැළ දල්වන ලදී. මේ සඳහා දර ගෙන එම මිනිසුන්ගේ පුරුද්දක් වූ අතර පසුව වර්ෂය සඳහාම අවශ්‍ය දර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ දී ගෙන ඒම චාරිත්‍රයක් බවට පත්විණ. මේ නිසා චාරිත්‍රානුකුලව පෙරහරින් දරමිටි රැගෙන ඒම දරමිටි පෙරහැර ලෙසත්, නිකිණි පුර පසළොස්වක පොහොය දරමිටි පොහොය ලෙසත් භාවිත වන්නට විය.

ශ්‍රී මහා බෝධියට පරිවාර බෝධීන් වහන්සේලා 41ක් තිබෙනු දැකිය හැකි ය. උඩ මළුවේ 3ක් හා වැලි මළුවේ 38ක් වශයෙනි.

ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේ වන ප්‍රතිමා ගෘහයේ බදාම පිරියම් කොට සායම් ආලේප කරන ලද බුදුන් වහන්සේගේ  ශෛලමය හිටි පිළිමයක් හා හිඳි පිළිමයක් වේ. මේ පරිශ්‍රයේ 6 වන හා 8 වන සියවස් වල සඳකඩ පහන් කීපයක්, 8 වන සියවසේ මුරගල් සත් පෙන නාග රුපයක් කැටයම් සහිත පිය ගැටපෙළ ආදිය දක්නට ඇති අනෙකුත් නෂ්ටාවශේෂ අතර වේ.

හිඳි පිළිමයක්
මුරගලක්
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සඳකඩ පහන්
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සඳකඩ පහන්
පියගැට පෙළ කැටයම්

ලෝවා මහා පාය

ලෝවා මහා පාය

මහා විහාරයේ පොහොය ගෙය ලෝවා මහා පායයි. දේවානම්පියතිස්ස රජතුමා ශ්‍රී මහා බෝධියට උතුරින් පොහොය ගෙයක් ඉදිකළ අතර දුටුගැමුණු රජතුමා විසින් එය නව මහල් ප්‍රාසාදයක් බවට පත්කොට ලෝහ උළු සෙවිලි කරවන ලදී. සද්ධාතිස්ස රජුගේ කාලයේ (ක්‍රී.පූ.137-119) දී පහනක් පෙරලි ප්‍රාසාදය ගිනි ගෙන විනාශ වුයෙන් පසුව එය සත් මහල් කොට තනවනු ලැබිණ. දෙවන සිරිනාග කාලයේ දී ද (ක්‍රි.ව. 246-247) එසේම ගිනිගනු ලැබීමෙන් පසුව එය පස් මහල් කොට සාදන ලදී. මහසෙන් රජු මහා විහාර වාසින් සමග උරණ වුයෙන් මේ ගොඩනැඟිල්ලේ පදනම පවා මුලිනුපුටා දමා භුමිය නගුලින් සාවා උඳු වැපුරු බව කියති. පසුව මේ ප්‍රාසාදය කිත්සිරි මෙවන් රජු නැවත ගොඩ නැංවිය. පාන්ඩ්ය සේනා හා 10 වන සියවසේ චෝළ ආක්‍රමණ නිසා ප්‍රාසාදය සම්පුර්ණයෙන් විනාශ වින. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා නැවත මෙය නටබුන්ව පැවති ගොඩනැඟිලි වල ගල් කණු 1,600ක් සිටුවා ගොඩනැඟිල්ල නැවත ඉදි කරන ලදී.

මේ ගොඩනැඟිලි භුමියේ කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් වල දී කිතුල් හෝ තල් දැව වලින් කරවා බදාම තවරා ගොඩනැඟිල්ල ඉදි කර ඇති බවත් බදාම මත චිත්‍ර ඇඳ තිබු බවත්, ගොඩනැඟිල්ල ගිනිගත් බවට සාධකත් සොයාගෙන ඇත.

පැණඹ මලුව, රංසිමාලකය හා ලහබත් ගෙය

පැණඹ මලුව, රංසිමාලකය හා ලහබත් ගෙය

ලෝවාමහාප්‍රසාදයටත් රුවන්වැලි මහා සෑයත් අතර ඇති සමතලා භුමි භාගය පන්හම්බ මාලක හෙවත් පැණඹ මලුව ලෙස හැඳින්වේ. මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම් ශාලාව රංසිමාලකය ලෙස හැඳින්වේ. අපවත් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය තැන්පත්කොට තිබුනේ මෙහි බව කියති.

භික්ෂුන් වහන්සේලාට දානය ලබාගැනීමට අවශ්‍ය සලාකය ලබා දුන්නේ ලෝවාමහාපාය ඉදිරිපිට ඇති ලහබත් ගෙය නම් ස්ථානයේ දී ය. පසු කාලීන ව පිරිත් සජ්ජායනය කොට සලාකය ලබාගත් නිසා මෙය පිරිත් ලහගේ නමින් ද හැඳින් වූ බව කියති.

චතුස්සාලා (දාන ශාලාව)

දාන ශාලාව
දාන ශාලාව

ලෝවාමහාපායට උතුරින් ඇත්තේ මහා විහාරයේ දාන ශාලාවයි. මෙය එක පැත්තක් අඩි 130ක් පමණ දික් වූ සම චතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලකි. මේ පරිශ්‍රයේ නැගෙනහිරින් අඩි 45ක් පමණ දික්වූ ශෛලමය දන් ඔරුවක් ඇත. මෙය 3,000ක් පමණ භික්ෂුන් වහන්සේලාට දැන් සැපයීමට ප්‍රමාණවත් බව පෙනේ. මධ්‍යයේ ගල් අතුරු මිදුලකි. සිව් දෙසින් අංගනයට ඇතුළුවීම සඳහා වූ පිය ගැට පෙළ හතරකි.

නාන පොකුණු (ජන්තාඝර)

ජන්තාඝර

රුවන්වැලි මහා සෑයට දකුණින් පිහිටි පොකුණු දෙකකින් එකක් ප්‍රතිසංස්කරණය කර ඇත. මේ පොකුණු මහා විහාරිය භික්ෂුන් වහන්සේලා ස්නානය සඳහා භාවිත කරන්නට ඇත.

රුවන්වැලි මහා සෑය

බුදු රජාණන්වහන්සේ පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වා ඇති පැරණි කකුධ නම් වැව කෙළවරක දේවානම්පියතිස්ස රජතුමා සිටුවා තිබු ශිලා ස්ථම්භයක එතුමාගේ මුණුපුරෙකු ස්ථුපයක් ඉදිකරන බව සටහන් කොට තිබු බව දුටු, දුටු ගැමුණු රජතුමා ක්‍රිස්තුු පූර්ව 137 දී එම ස්ථම්භය ඉවත්කර එය තිබු ස්ථානයේ රුවන්වැලි සෑය ඉදිකළ බව වංශකතාවල සඳහන් වේ. මෙය ඉදිකළ ස්ථානයේ වූ ඉවත් කිරීමට සිදු වූ තෙලඹු ගසක ස්වර්ණමාලි නම් වෘක්ෂ දේවතාවක් සිටි බැවින් අැගේ නමින් ස්තුපය නම් කල බවක් ජනප්‍රවාදයේ පවතී. මෙය ඉදි කලේ රුවන් මලුව නම් ස්ථානයක බැවින් රුවන්වැලි සෑය නමින් හැඳින්වූ බවක් ද කියෙ වේ.  

රුවන්වැලි මහා සෑය

රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිලිබඳ කතාපුවත මහාවංශය, ථුපවංශය ආදී වංශකතා පොත්වල විස්තරාත්මකව හා වර්ණනාත්මකව සඳහන් කොට ඇත. මේ ථුපයේ විෂ්කම්භය අඩි 370කි. ප්‍රතිසංස්කරණය කරන ලද ථුපයේ උස අඩි 338කි. අත්තිවාරම රියන් 7ක් ගැඹුරට කපා ගල් දමා ඇති බව කියති. ස්තුපය නිර්මාණයට යොදා ගන්න ගාඩොළු සඳහා යොදාගත් මැටි වල් පැල හට නොගන්නා සේ ඉතා හොඳ තත්ත්ව පාලනයකින් නිමවා ඇත.

ඇත් පවුර
වාහල්කඩ

දුටු ගැමුණු රජතුමාගේ අභාවයට පෙර මෙම ථුපයේ වැඩ අවසන් කරන්නට නොහැකි වූ බැවින් සද්ධාතිස්ස රජතුමා විසින් මෙහි වැඩ නිම කරන ලදී. ඉන් පසුව ද නොයෙකුත් රජවරුන් විසින් මෙහි සංවර්ධන කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත.

ගල් ඔරුවක්
කැටයම්

රුවන්වැලි සෑ මළුවේ ඇති පිළිම ගෙයෙහි මේ කල්පයේ බුදුවරුන් සිව්දෙනාගේ හා මතු බුදුවන මෛත්‍රී බෝසතුන්ගේ පිළිමය ඇති බැවින් පස් පිළිම ගෙය නමින් හැඳින් ‌වේ.

පිළිමගෙයි බුදු පිළිමයක්
බෝධිසත්ව පිළිමය

මළුවේ ගිනිකොන සුර්ය දේවාලයක් තිබුණු බවක් කිය වේ.  මළුවේ සිව් කොන කුඩා ස්ථුප 4ක් හා තවත් කුඩා ස්ථුපයක් වේ.

Ruwanweli Seya

පිළිම ගෙය ළඟ නිශ්ශංක මල්ල රජුගේ සෙල් ලිපියක් හා සළපතල මළුවේ බිම කල්යානවති රැජින කාලයේ සෙල් ලිපියක් ඇත. නැගෙනහිර දොරටුව සමීපයේ දුටු ගැමුණු පිළිරුවක් හා දකුණු වාහල්කඩ ඉදිරිපස භාතිකාභය රජුගේ පිළිරුවක් ඇත.

සෑයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි 20 අඟල් 4ක් උස සෙල් කුළුණක් දක්නට ඇත. මෙය ඉන්ද්‍රකීලය ලෙස සමහරු හඳුන්වති. මෙය දේවානම් පියතිස්ස රජතුමා සිටුවා තිබු ශිලා ස්ථම්භය ලෙස ද සමහරු දකිති. මෙය යුප  ගලක් වන්නට ද බැරි නැත.

රුවන්වැලි සෑ නැගෙනහිර වාහල් කඩෙහි 12 වන සියවසේ දී පමණ අඳින ලද බවට සැලකෙන කොළ, දළු, හා මල්වලින් සැදි ලියවැල් රටාවක් හා ඒ තුල කිඳුරු රුවක් දැක්වෙන සිතුවම් කීපයක ශේෂයන් තිබී ඇත.

කුජ්ජතිස්ස පබ්බත විහාරයද? ශිලා චෙතියද? එළාර සොහොනද?

Sila Chethiya

රුවන් වැලි සෑයට ඊසාන දෙසින් වේදිකාවක් මත කුඩා ස්ථුපයක් ඇත. මෙය කුමක්ද කියා තවමත් ස්ථිර නිගමනයකට පැමිණ නැත.

රෝහල

රුවන් වැලි සෑයේ නැගෙනහිර දොරටුව ඉදිරිපස බෙහෙත් ඔරුවක් සහිත නටබුන් රෝහල් භූමියක නටබුන් බවට විශ්වාස කෙරේ.

රෝහල් භුමියේ බෙහෙත් ඔරුව

රුවන් වැලි සෑයට බටහිරින් අභය වැව පිහිටා ඇත. එහිද පැරණි නටබුන් දැකිය හැක. රුවන් වැලි සෑය හා අභය වැව අතර ප්‍රදේශයේ දිගු පොකුණක් පිරිවෙන් වලට අයත්යයි සිතිය හැකි ගොඩනැඟිලි රාශියක නටබුන් ඇත.

මයුර පිරිවෙන 

ශ්‍රී මහා බෝධියට නිරිත දෙසින් මයුර පිරිවෙන නමින් වූ ගොඩනැඟිල්ලක නටබුන් දැකිය හැකි ය. ක්‍රිස්තුු වර්ෂ 340-368 අතර කාලයේ රජකළ බුද්ධදාස රජතුමා විසින් මහා විහාර භික්ෂුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉදිකළ පිරිවෙන මෙය විය හැකිි ය. මෙය දිගින් අඩි 66ක් හා පළලින් අඩි 45කි.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.09.19 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

අන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම බ‍්‍රාහ්මී ලේඛන පිළිබඳ විමර්ශනයක්

ඩී. තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ඩී. තුසිත මැන්දිස්

ශ‍්‍රී ලංකාවේ ආදිතම බ‍්‍රාහ්මී ලේඛන හෝ අක්‍ෂර අශෝක අධිරාජ්‍යයාට සම කාලීනව මෙරට රාජ්‍ය පාලනය කළ දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය වන ක‍්‍රිස්තු පූර්ව 250-210ට අයත්වන බව බොහෝ විද්වතුන්ගේ මතය විය (Fernando 1969:20). ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ආදිතම බ‍්‍රාහ්මී ලේඛන ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසින් ඔබ්බට ගමන් කළ නොහැකි බව එතෙක් පිළිගැනී තිබූ මතය විය. සාහිත්‍ය මූලාශ‍්‍රය සාධක අනුව ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවසේ සිට ආර්යය භාෂා කතා කරන ජනතාව ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් වන අතර යම් හෙයකින් ලේඛන පිළිබඳව ඔවුන් ලත් දැනුම මෙරටට රැගෙන එන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී (Fernando 1969:19; Paranavitana 1970:xxii). ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට පෙර සිට ම යම් ලේඛන ක‍්‍රමයක් පැවති බව සාහිත්‍ය මූලාශ‍්‍රයවල සඳහන් වන බව පෙන්වාදෙන පියතිස්ස සේනානායක එම මූලාශ‍්‍රය බොහොමයක් ක‍්‍රිස්තු වර්ෂය ආරම්භ වී කාලයකට පසුව ලියවුණු ඒවා බව ද ප‍්‍රකාශ කර තිබේ. එබැවින් මූලාශ‍්‍රයවල සඳහන් වන එම කරුණු තුළනාත්මක ලෙස සාකච්ඡාවට භාජනය කළ යුතු බව ඔහු ප‍්‍රකාශ කර තිබේ (සේනානායක 2002:58-59).

ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන පිළිබඳව හා ඒවායේ ඉතිහාසය පිළිබඳ විමර්ශනය කිරීමේ දී බ‍්‍රාහ්මී අක්‍ෂරවලට පූර්වයෙන් හමු වූ සංකේත අක්‍ෂර ක‍්‍රමයක් පවතින්නට ඇති බවට සාධක ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසානවල පියන් ගල් මත හා එම යුගයට අයත් ජනාවාසවලින් හමුවන මැටි බඳුන් මත තිබී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් හමු වී තිබේ (Deraniyagala 1972:122-130; Senavirathne 1984:294-298). මෙම යුගයට අයත් ජනාවාස භූමි වන අනුරාධපුරය, තිස්සමහාරාමය හා කන්තරෝදය යන ස්ථානවලින් හමු වී ඇත් මැටි බඳුන් මත සටහන් කර තිබූ බ‍්‍රාහ්මී ලේඛන රාශියක් ද වාර්තා වී තිබේ (Deraniayagala 1972:129-130; Indrapala 1973:18-19; Parker 1885:67-68). මෙම ලේඛන හමු වීම සමඟ ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන සම්බන්ධයෙන් නව මතයක් සිරාන් දැරණියගල විසින් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන ක‍්‍රිස්තු පූර්ව 600-500 පෙර කාලයේ සිට භාවිත වූ බව රේඩියෝ කාබන් කාලනිර්ණ අනුව තහවුරු වන බව ප‍්‍රකාශ කර ඇත (Deraniyagala 1990:742-747; Kodithuwakku 2015:251-253).

අනුරාධපුර ඇතුළු නුවර මහාපාලි දානශාලාව අසළ AMP 88 ස්ථාන නාමය යටතේ සිදුකරන ලද කැනීම්වල දී හමු වූ මැටි බඳුන් කැබළි කිහිපයක මෙම බ‍්‍රාහ්මී ලේඛන හමු වූ බව දැරණියගල ප‍්‍රකාශ කර තිබේ (ibid:741-742). ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇති ආකාරයට එම අවධියේ බ‍්‍රාහ්මී අක්‍ෂර ලිවීම සඳහා භාවිත කරන ලද සත්ව අස්ථිවලින් නිර්මාණය කරන ලද පන්හිදක් හමු වී ඇති බව ද පෙන්වා දී ඇත (ibid. Fig.66:744). එයට සමාන පන්හිදවල් ඉන්දියාවේ අලම්ගීර්පුර්, චිරාන්ඩි, හස්ථිනාපූර් හා උජ්ජේන් යන ස්ථානවලින් ද ලැබී තිබීමෙන් මෙවැනි ඒවා සමාන කාල පරාසවල දී ලංකාවේ හා ඉන්දියාවේ භාවිත වී ඇති බව ද ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබේ (ibid:742). මෙම අක්‍ෂර හමුවන කාල පරිච්ඡේදය වන ක‍්‍රිස්තු පූර්ව 600-500 තහවුරු කර ගැනීම සඳහා කාබන් කාලකනිර්ණ (C14) 4ක් තාප සන්දීප්තතා කාලනීර්ණ (TL) 4ක් ලබාගත් බව ද ඔහු වැඩි දුරටත් විස්තර කර තිබේ (ibib:740).

මෙම සොයා ගැනීම පිළිබඳව විද්වතුන් විවිධ මත රාශියක් ප‍්‍රකාශයට පත් කර ඇත. මේ පිළිබඳ අදහස් දක්වා ඇති පියතිස්ස සේනානායක ප‍්‍රකාශ කර ඇත්තේ සිරාන් දැරණියගල ක‍්‍රිස්තු පූර්ව 600-500 තරම් කාලයට අයත් යැයි ප‍්‍රකාශයට පත් කර ඇති (බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් වී තිබූ) මැටි බඳුන් ක‍්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසට අයත් විය යුතු බවය (සේනානායක 2002:54). ඒ සඳහා ඔහු ඉදිරිපත් කර ඇති මතය අනුව දැරණියගල විසින් ඉදිරිපත් කර ඇති ඵලක අංක 64 හි a අක්‍ෂරය දරන මැටි බඳුන් කැබැල්ල මත සටහන් වී ඇති අවසන් අක්‍ෂරය ‘ච’ අක්‍ෂරය යැයි උපකල්පනය කළහොත් එම අක්‍ෂරය ශ‍්‍රී ලංකාවේ මෙතෙක් හමු වි ඇති පැරණි බ‍්‍රාහ්මී ලිපි අතර දක්නට නැති තරම් බව පෙන්වා දී ඇත (එම:58). සේනානායක ඉදිරිපත් කර ඇති අනෙක් මතය වන්නේ ශ‍්‍රී ලංකාවේ පැරණි බ‍්‍රාහ්මී ලිපිවල දීර්ඝ ස්වර වෙනුවට බොහෝ විට හ‍්‍රස්ව ස්වර භාවිත වී ඇති බවත් දීර්ඝ ස්වර භාවිත කිරීම ආරම්භ වූයේ පසු කාලීනව බව පරණවිතාන පෙන්වා දී ඇති මත අනුව ද තහවුරු වන බව පෙන්වා දී ඇත (එම:58; Paranavithana 1970:xxxviii-xliv) එසේම දැරණියගල ඉදිරිපත් කර ඇති ‘තාරම’ හෝ ‘තාරච’ යන්නත් ‘තයාකුටෙ’ යන යෙදුම් තුළ දීර්ඝ ස්වර ඇසුරු කරමින් වචන සටහන් කර ඇති බැවින් එවැනි යෙදුම් මගින් සංවර්ධනය වූ කාලවකවානුවක එම අක්‍ෂර රචනා කරන්නට ඇති බව අක්‍ෂරවල ස්වරූපය අනුව පැහැදිළි වන බව පෙන්වා දී ඇත (සේනානායක 2002:58).

පියතිස්ස සේනානායක විසින් පෙන්වා දී අත්තේ මෙම අක්‍ෂරවල සංවර්ධන අවස්ථාක් දීර්ඝ ස්වර මෙන්ම හ‍්‍රස්ව ස්වර තුළින් පැහැදිළි වන බැවින් අනුරාධපුර ඇතුළුපුරයෙන් හමු වී ඇති අක්‍ෂර ක‍්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසට අයත් වීමට ඉඩ ඇති බව පෙන්වා දී අතර ම, දැරණියගල විසින් මෙම ලේඛන සම්බන්ධව දක්වා ඇති කාබන් කාලනීර්ණ අනුව එහි ඉහළ සීමාවේ හා පහළ සීමාවේ පවතින පරතරය පිළිබඳව ද සාකච්ජා කර තිබේ. සිරාන් දැරණියගල විසින් අනුරාධපුර මහාපාලි දාන ශාලාව අසළ සිදු කරන ලද AMP 88 කැනීමේ සංසිද්ධි අංක 75ට අයත් එම මැටි බඳුන් කැබලි අයත් වන ස්ථරයේ කාලනිර්ණ කාබන් 14 කාලනිර්ණ අනුව එහි ඉහළම සීමාව ක‍්‍රිස්තු පූර්ව හත හා එහි පහළම සීමාව ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට (Deraniayagala 1992:742) අයත් ලෙස දක්වා තිබෙන අතර සේනානායකගේ මතය වන්නේ මෙම අක්‍ෂර හමුවන කාලපරාසය පදනම් මුල් ඓතිහාසික යුගය (Basal early history 600-500) හා පහළ මුල් ඓතිහාසික අවධිය (Lower early history 500-400 BC) පවතින පරතරය සියවස් 4කට ආසන්න වන බැවින් එහි ඉහළ සීමාව පමණක් සළකා බලා මෙම තීරණය ගැනීම සාධාරණ නොවන බව ය.

අනුරාධපුර ඇතුළුපුර AMP 88 හා ASW 88 කැනීමෙන් සොයාගන්නා ලද බ‍්‍රාහ්මී ලේඛන පිළිබඳ විමර්ෂණයක් සිදු කරන විමලසේන හැලෝගම ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට අයත් අශෝක අක්‍ෂර ද ක‍්‍රිස්තු පූර්ව දෙ වැනි සියවසට අයත් පිප‍්‍රාවා අභිලේඛන සමඟ ද ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිස්තු පූර්ව තෙ වැනි හා දෙ වැනි සියවස්වලට අයත් ගුහා ලිපි සමඟ ද සන්සන්දනය කරමින් අනුරාධපුර ඇතුළුපුරයෙන් හමු වූ මැටි බඳුන් මත ඇති අක්‍ෂර හා සැසදීමේ දී සමානතා මෙන්ම දැඩි ලෙස අසමානතා ද පවතින බව පෙන්වා දී ඇත. හැලෝගම පෙන්වාදෙන ආකාරයට AMP 88(75) සංසිද්ධිය හා ASW 88(88) වැනි සංසිද්ධියට අයත් වී ඇති අක්‍ෂර සහිත මැටි බඳුන් ක‍්‍රිස්තු පූර්ව 818-754 හෝ ක‍්‍රිස්තු පූර්ව 700-540 කාලනිර්ණය ලැබී ඇති බව දක්වා තිබීම හා තවත් මැටි බදුන් කැබැල්ලක ‘බිය අනුරධ‘ යනුවෙන් සඳහන් ASW 88 (88) සංසිද්ධියට අයත් මැටි බඳුන් කැබැල්ල ක‍්‍රිස්තු පූර්ව 600-500 කාලනිර්ණ කර තිබීම තුළ ගැටළුවක් ඇති බව පෙන්වා දී තිබේ (හැලෝගම 2003:4-5). ඔහුගේ මතය වන්නේ මෙම මැටිබඳුන් සඳහා කාලනිර්ණ ලබා දිය යුත්තේ මැටි බඳුන් හමුවන ස්ථරය කාලනිර්ණය කිරීමෙන් නොව අදාළ මැටි බඳුන් කොටස කාලනිර්ණය කිරීමෙන් බවය (එම:5). මෙයට අමතරව උතුරු ඉන්දීය බ‍්‍රාහ්මී අක්‍ෂර හා දකුණු ඉන්දීය බ‍්‍රාහ්මී අක්‍ෂර මෙන් ම ශ‍්‍රී ලංකාවේ ගුහා ලිපිවල අන්තර්ගත බ‍්‍රාහ්මී අක්‍ෂරවල හැඩ රටා හා එ්වායේ පරිමාණය පිළිබඳ විමර්ශනය කරන හැලෝගමගේ මතය වන්නේ, අනුරාධපුර ඇතුළුපුරයෙන් හමුවන මැටි බදුන් මත සටහන් කර ඇති අක්‍ෂර ක‍්‍රිස්තු පූර්ව 600-500 කාලයට නොව ක‍්‍රිස්තු වර්ෂ දෙ වැනි ශත වර්ෂයට අයත් වන බවත් ඒවා දකුණු ඉන්දියාවේ අරිකමේඩුවලින් සොයාගන්නා ලද අක්‍ෂරවලට සමාන වන බැවින් අරිකමේඩු අක්‍ෂර අයත් ක‍්‍රිස්තු වර්ෂ දෙ වැනි සියවසට අයත් වන බව පෙන්වා දී ඇත (එම:153-154).

අනුරාධපුර ඇතුළුපුර AMP 88 (Deraniayagala 1992:742) හා ASW 88 (Coningham 1999:137) මැටි බදුන් මත පන්හිදකින් හෝ තියුණු අස්ථි තුඩකින් සටහන් කරන ලද බවට උපකල්පනය කරන ලද ඉහත විස්තර කරන ලද ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන සම්බන්ධ විද්වතුන් අතර විවිධ මතවාද පවතින බව පෙනේ. ඔවුන් බොහෝ දෙනෙකු පෙන්වා දී ඇත්තේ අක්‍ෂර හා අක්‍ෂර කලාවේ සංවර්ධනය විමසිය යුතු මෙන්ම අදාළ මැටි බඳුන් කොටස කාලනීර්ණය නොකර ඒවා හමුවන ස්ථර කාලනිර්ණය කිරීමෙන් ඉහළ සන්දර්භයකින් සත්ව ක‍්‍රියා හේතුවෙන් එවැනි මැටි බඳුන් වැනි කොටස් පහළට පැමිණීමට ඇති ඉඩකඩ වැඩි බැවින් නිශ්චිත ලෙසම ස්ථරයේ කාලනීර්ණ අදාළ බඳුන් කොටසේ කාලනීර්ණ සඳහා යොදා ගැනීම ගැටලු සහගත වන බව ය. ඉහත ප‍්‍රකාශයට පත් වී ඇති ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛනවල පැරණි භාවය තහවුරු කර ගැනීම සඳහා ඉතා හොද පිළිතුරක් සපයා ගැනීමට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයට මේ වන විට හැකි වී තිබේ.

2017 වර්ෂයේ අග භාගයේ ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය ආණමඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ගමුවට නුදුරු අන්දරවැව මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිතව RUSL EX 01 2017 ස්ථාන නාමය යටතේ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීමේ දී සුසානය අභ්‍යන්තරයේ තැන්පත් කර තිබූ මුට්ටියක කැඞීගිය බඳ කොටස් කැබලි තුනක තිබී බ‍්‍රාහ්මී අක්‍ෂර තුනක් හඳුනාගන්නා ලදී. මෙම බ‍්‍රාහ්මී අක්‍ෂර අතර ‘‘ අක්‍ෂර දෙකක් හා දන්තජ ‘‘ අක්‍ෂරය ලෙස හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ මෙගලිතික සුසාන ආශ‍්‍රිතව මෙතෙක් සිදුකරන ලද කැනීම්වල දී ඒවායේ පියන් ගල් මත තිබී බ‍්‍රාහ්මී නොවන සංකේත රාශියක් හමුවී තිබේ (සේනානායක 2002:72). ඒ අතරින් ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රීතව සංකේත කිහිපයක් හා යාපහුව පිංවැව ගල්සොහොන්කනත්ත තුළ 40කට වඩා වැඩි සංකේත හමු වී ඇති බව හඳුනාගෙන ඇත (Senavirathna:1997). එයට අමතරව අනුරාධපුර ගෙඩිගේ, කන්තරෝදය, පොම්පරිප්පුව, ආනයිකොඞ්ඩායි (Senavirathna 2009:189-190) හා රිදියගම, තිස්සමහාරාමය යන ස්ථානවලින් ද බ‍්‍රාහ්මී නොවන සංකේත වාර්තාවන බව දක්වා තිබේ (බංඩාර 2001/2002:57-61).

මේ ආකාරයට මෙගලිතික සුසාන හා ජනාවාස තුළින් විවිධ සංකේත හා සමහර විට අක්‍ෂර හමුවන නමුත් සුසානයක් අභ්‍යන්තරයේ තිබූ මැටි බඳුනක් මත සටහන් කරන ලද බ‍්‍රාහ්මී අක්‍ෂර මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැත. ඒ අනුව අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිතව මෙම සොයා ගැනීම ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන සම්බන්ධව අතිශය වැදගත් සොයා ගැනීමක් ලෙස පෙන්වාදිය හැකි ය. එසේ පෙන්වාදිය හැක්කේ ශිලා පුවරු 4කින් වටකොට තනන ලද ශිලා මංජුසාවක අභ්‍යන්තරයේ තැන්පත් කරන ලද මැටි බඳුන් විශාල පියන් ගලකින් වැසූ පසු කිසිදු අයුරකින් විතැන්වීමක් සිදු නොවන අතර සත්ව ක‍්‍රියා හේතුවෙන් එහා මෙහා යාමක් ද සිදු නොවේ. එම නිසා ප‍්‍රථමයෙන්ම සන්දර්භය අවුල් සහගත නොවූ තැනකින් මෙම අක්‍ෂර සහිත මැටි බඳුන් ලැබීම ඉතාම වැදගත් වේ. මෙහි අතිශය වැදගත් අනික් කරුණ වන්නේ මෙම අක්‍ෂර අන්තර්ගත මැටි බදුන් කැබළි හමුවන මැටි බඳුන ඇතුළතින් ලබාගත් අස්ථි සාම්පල් ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනයට යවා ලබාගත් කාලනිර්ණ අනුව එම අස්ථි හා මැටි බඳුන් අයත් වන කාලය ක‍්‍රිස්තු පූර්ව 491 – 366 ලෙසට දින නිර්ණය වී තිබේ (2440-2315 Cal Bp) 94.4% ක විශ්වාසනීය භාවයක් ලබා දී ඇති මෙම කාලනිර්ණවලින් 1.0%ක නිරවද්‍යතාව මත ඒවා නිශ්චිත වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 507-501 (2456-2449) අයත් වන වන බව බීටා ඇනලිටික් ආයතනය දන්වා තිබේ (Beta – 482665). ඒ අනුව මෙම අක්‍ෂර ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් බව නිසැක ලෙසම තහවුරු වේ.

ඉන්දියාවේ අරිකමේඩුවලින් හඳුනාගත් බ‍්‍රාහ්මී අක්‍ෂර ක‍්‍රිස්තු පූර්ව 900-600 අතර කාලයට අයත් බව (Deraniayagala 1992:745) ප‍්‍රකාශයට පත්වී ඇති අතර සමස්තයක් ලෙස දකුණු ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රිස්තු පූර්ව 600-500 කාලයේ බ‍්‍රාහ්මී ලේඛන භාවිත වූ බව මේ අනුව හඳුනාගත හැකි ය. අනුරාධපුර ඇතුළුපුර මැටි බඳුන් මත ලේඛනගත කර තිබූ බ‍්‍රාහ්මී ලේඛන සම්බන්ධව උගතුන් අතර මෙතෙක් පැවති ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවසට ඒවා අයත් විය නොහැකිය යන කලවකවානු සම්බන්ධ තිබූ ප‍්‍රශ්නය මින් නිරාකරණය කර ගැනීමට අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන තුළින් මේ අනුව හැකි වේ. ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී අභිලේඛන හා ඒවායේ ඉතිහාසය සම්බන්ධ වැදගත් සොයාගැනීමක් ලෙස අන්දරවැව මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන පෙන්වාදිය හැකි අතරම අන්දරවැව මෙගලිිතික සුසානයෙන් හමුවන බ‍්‍රාහ්මී ලේඛන අතර ඇති තාලුජ ‘‘ අක්‍ෂරය සම්බන්ධව අක්‍ෂර පරිණාමය සම්බන්ධයෙන් අභිලේඛකයින් අතර මතයක් ඇතිවිය හැකිය බොහෝ උගතුන් පෙන්වා දී ඇත්තේ තාලුජ ‘‘ අක්‍ෂරය බ‍්‍රාහ්මී ලේඛනවලට එකතු වී ඇත්තේ බ‍්‍රාහ්මී ලේඛනවල පසුව ඇතිවන සංවර්ධන අවස්ථාවක දී බව ය. මේ සම්බන්ධව සිරාන් දැරණියගල ප‍්‍රකාශ කරන ආකාරයට අක්‍ෂරවල ආකෘතියෙන් බහුතර විවිධතා හටගෙන ඇත්තේ කාල පරිණාමයට වඩා ඒවායේ ලිවීමේ හා ස්ථානයේ ස්වභාවය අනුව බව යන්න හා එකම ආකෘතියට ඇති අක්‍ෂර දෙකකින් එකක් පූර්ව ව්‍යවහාරයට අනෙක පසු කළකට ද අයත් බවට පිළිගැනෙන මතය පිළිගත නොහැකිය යන තර්කයක් අනුව සිතීමේ දී තාලුජ ‘‘ මුර්තජ ‘‘ යන අකුරු එකකින් අනික පෙර හෝ පසුව භාවිත අක්‍ෂරයක් යන්න සැළකිය නොහැකි බව ද මේ අනුව පෙන්වාදිය හැකි ය. පරණවිතාන පෙන්වා දෙන ආකාරයට ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට ක‍්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවස දක්වා වන බ‍්‍රාහ්මී අක්‍ෂරවල පරිණාමය සම්බන්ධයෙන් විශාල වෙනස්කමක් අක්‍ෂර ඇසුරින් හඳුනාගත නොහැකි නමුත් ක‍්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවස පමණ වන විට සුළු වෙනස්කමක් දැකගත ‘‘ අක්‍ෂරයේ දැකගත හැකි වේ (Ic. vol.I:xvi).

අන්දරවැව මෙගලිතික සුසානයෙන් හමුවන ත අක්‍ෂරය සිරස් රේඛාවක් තවත් සිරස් රේඛාවක් සමඟ සම්බන්ධ වීමෙන් ලියා තිබෙනු හඳුනාගත හැකි වන්නේ ශිලාලේඛනවල  දක්නට ලැබෙන පරිදි ය. අශෝක ශිලා ලිපිවල යෙදෙන ‘‘ අක්‍ෂරය සමඟ ශ‍්‍රී ලංකාවේ මුල් බ‍්‍රාහ්මී අක්‍ෂර සන්සන්දනය කිරීමේ දී පෙනී යන්නේ ඉන්දීය අශෝක අක්‍ෂර නැමීගිය රේඛාවකට දකුණු පැත්තෙන් සිරස් රේඛාව මධ්‍යයේ සිට පහළට දිවෙන කෙටි රේඛාවකින් යුක්ත බව ය. ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී එසේ නොවන අතර සෘජු රේඛාව දෙකකින් යුක්ත බව පෙනේ. අන්දරවැව මෙගලිතික සුසානයෙන් හමුවන බ‍්‍රාහ්මී ලේඛන ශී‍්‍ර ලංකාවේ ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට අයත් අක්‍ෂරවලට සමාන වන බැවින් පූර්ව ඓතිහාසික යුගයේ සිට එම අක්‍ෂර විකාශනය වී ඇති බව පෙන්වා දිය හැක්කේ ලංකාවේ ස්ථාන ගණනකින් මෙයට සමාන බ‍්‍රාහ්මී නොවන අක්‍ෂර ලෙස උගතුන් හඳුනාගෙන ඇති අක්‍ෂර හමුවීම තුළින් පූර්ව ඓතිහාසික අවධියේ මෙරට ලේඛනය ඇරඹි බවට ප‍්‍රබල මතයක් ඉන් ගොඩනැඟිය හැකි බැවිනි. ඇතුළුපුරයෙන් දැරණියගල වාර්තා කර තිබෙන Fig. 64 දක්වා ඇති b ඵලකයේ දක්වා ඇති ‘‘ අක්‍ෂරයට අන්දරවැවින් හමු වූ ‘‘ අක්‍ෂරය සමාන වන බව අප විසින් සිදු කරන ලද අක්‍ෂර සන්සන්දනය කිරීමේ විමර්ශනවල දී පැහැදිලි විය. මෙම කැනීමේ දී වාර්තා වී ඇති අනෙක් අක්‍ෂරය වන දන්තජ ‘‘ ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි හා පළමු වැනි සියවස් අතර ලෙන් ලිපිවල දක්නට ලැබෙන අක්‍ෂරවලට බොහෝ සමාන වන බැවින් පූර්ව ඓතිහාසික යුගය තුළ එය ලංකාවේ භාවිත වන්නට ඇති බව පෙන්වා දිය හැකි වේ (Ic. vol.I:xvi) අන්දරවැව මෙගලිතික සුසාන භූමිය අශ‍්‍රිතව වාර්තාවන මෙම අක්‍ෂර දෙකම එකම සන්දර්භයකින් වාර්තාවන බැවින් දින නීර්ණ සම්බන්ධයෙන් ගැටළුක් පැන නැගෙන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී අක්‍ෂරවලින් ලිපි ලිවීම හා ඒවා මෙරට ස්ථාපිත කරවීම පිළිබඳව ප‍්‍රචලිතව තිබෙන මතය වන්නේ එම අක්‍ෂර මෙරටට හඳුන්වා දෙනු ලැබූවේ බෞද්ධ ධර්ම දූතයන් විසින් බව ය (Fernando 1949:282). නමුත් මෙම අදහස පිළිබඳව විමර්ශනයක යෙදෙන පරණවිතාන පෙන්වා දෙන්නේ බෞද්ධ ධර්ම දූතයන් මෙරටට පැමණීමට පෙර භාණ්ඩ හුවමරු කටයුතුවල දී බ‍්‍රාහ්මී අක්‍ෂර භාවිත වන්නට ඇති බව අනුමාන කළ හැකි බව පෙන්වා දී තිබේ (Paranavithana 1970:xviii). මේ වන විට ලැබී ඇති දිනනීර්ණ සහිත සාධකවලින් පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන පුර්ව ඓතිහාසික යුගයේ මෙරට ජීවත් වූ වැසියන් විසින් ආරම්භ කරන ලද ලේඛන ක‍්‍රමයක් වන බවත් මහින්දාගමනයෙන් අනතුරුව එම ලේඛන භික්‍ෂූන්ට ලෙන් ප‍්‍රදානය කිරීම සමඟ මෙරට ප‍්‍රචලිත වී ඇති බවත් ය. සිරාන් දැරණියගල විසින් 1988 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදුකරන ලද AMP 88 හා රොබින් කනිංහැම් විසින් සිදු කර ඇති AMP 88 කැනීමෙන් සොයාගෙන ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන කි‍්‍රස්තු පූර්ව 500-600 කාලයට අයත් වන බවට දැරණියගල විසින් ප‍්‍රකාශයට පත්කර ඇති කරුණ, අන්දරවැව මෙගලිතික සුසාන ආශ‍්‍රිත කැනීමෙන් හමු වූ මැටි බඳුන් මත පිළිස්සීමෙන් පසුව සටහන් කර ඇති බ‍්‍රහ්මී අක්‍ෂරවලින් තහවුරුවන බව පෙන්වා දිය හැකිය.

පරිශීලනය කරන ලද ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Coningham, R.A.E. (1999), Anuradhapura, The British-Sri Lanka excavations at Anuradhapura Salgaha Watta,vol.2, England, Hadrian Books. Ltd. Oxford.
  • Deraniyagala, S.U. (1972), The Citadel of Anuadhapura: Excavation in the Gedige area, Ancient Ceylon, Vol.2; 48-165, Colombo, Archaeological Survey Department.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka :An Ecological Perspective, Colombo, Archaeological Survey Department.
  • Fernando, P.E.E. (1969), The beginning of Sinhala alphabet, In Education in Ceylon: A Centenary Vol.: 19-24, Sri Lanka: Ministry of Education and Cultural Affairs.
  • Indrapala, K. (1973), A Brahmi Potshard inscription from Kandarodi, Purvakala No.1, eds K. Indrapala and others, The Bulletin of the Jaffna Archaeology Socity
  • Paranavithana, S. (1970), Inscription of Ceylon, Vol. I, Colombo, Department of Archaeology.
  • Parker, H. (1884), Report on Archaeological Discoveries at Tissamaharama, In Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol. viii 1883-1884, 1-97, reprint 1998 Ancient Ceylon (Delhi), reprint New Delhi 1984
  • Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No.5:237-305. Colombo, Archaeological Survey Department.
  • Seneviratne, S. (1997), Pinwewa Galsohon Kanaththa Excavation Repor, Department of Archaeology, University of Peradeniya.
  • සේනානායක, පියතිස්ස (2002), ශ‍්‍රී ලංකාවේ පැරණිම ලේඛන සහ ඒවායේ ආරම්භය පිළිබඳ ව අදහසක්, ඉඳුවර පර්යේෂණාත්මක ලේඛන සංග‍්‍රහය, සංස්. දයා අමරසේකර සහ රෝහිත දසනායක, වරකාපොළ, ආරිය ප‍්‍රකාශකයෝ (35-75).
  • හැලෝගම, විමලසේන (2003), ශ‍්‍රී ලාංකික බ‍්‍රාහ්මී අක්ෂර මාලාවෙහි ආරම්භය, අනුරාධපුර ඇතුළුනුවර දී හමු වූ මැටි බඳුන් ආශ‍්‍රිත ව කෙරෙන විග‍්‍රහයක්, වරකාපොළ, ආරිය ප‍්‍රකශකයෝ.
  • බංඩාර, තිස්ස (2001/2002) හම්බන්තොට ආශ‍්‍රිත ඓතිහාසික පුරාවිද්‍යාව, වැලිපිළ පුරාවිද්‍යා සඟරාව, පස්වෙනි කලාපය, ඒකාබද්ධ පුරාවිද්‍යා උපාධිධාරී සංගමය, මධ්‍යම සංස්කෘතික අරමුදල (55-65)
අන්දරවැව මෙගලිතික සුසාන කැනීමෙන් හමු වූ බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක්
අන්දරවැව මෙගලිතික සුසාන කැනීමෙන් හමු වූ බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක්
අන්දරවැව මෙගලිතික සුසාන කැනීමෙන් හමු වූ බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක්
-------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.09.17 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මුහුදු පුරාවිද්‍යා නිලධාරි, මධ්‍යම සංස්කෘතික අරමුදල, මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල.

හැඳින්වීම

රුක්‍ෂාන් ප‍්‍රියන්දන

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ලංකාවේ හමුවන ශිලා ලිපි කිහිපයක නාවුකයන් පිළිබඳව තොරතුරු සඳහන් වේ. නාවුක කරාව, දුත(න)වික, භොජකටක නවික, වශයෙන් ලෙන් පූජාකරන ලද අවස්ථා හී නවුක යන වචනය භාවිතාව ඇත (විජේසූරිය 1987: 20). නාවුක යනු යාත‍්‍රිකයන් හැදින්වීම පිණිස යොදාගත් වචනයක් බව පැහැදිලි ය. දුවේගල සෙල් ලිපියේ නාවික ප‍්‍රධානියකුගේ මුද්‍රාවක් නිරූපණය කර ඇත. එහි සඳහන් වන ‘ශගරඛිතශ’ යන නාමය සංඝ රක්ඛිත ලෙස පරණවිතාන අර්ථ දැක්වූව ද බොහෝ විද්වත් මතය වනුයේ ‘සාගරකිත්ති’ හෙවත් සාගරයේ සේවයේ නියුතු යන්න වන බවයි. මෙහි පැහැදිලිවම නෞකාවක රූප සටහනක් දක්වා තිබෙන අතර එහි කුඹ ගසක් හා රුවලක සලකුණු ද පැහැදිලිව හඳුනාගත හැකිය.

අකුරුගොඩ ප‍්‍රදේශයේ සිදුකරන ලද කැනීමක දි මැටිබඳුන් කැබැල්ලක තිබී නැවක සළකුණක් හමු වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මන් කාවා පුරාවිද්‍යා ආයතනය විසින් මෙම කැනීම සිදුකර ඇත. මැටි බඳුන් කැබැල්ල ක‍්‍රිස්තු වර්ෂ 4වන සියවට පමණ අයත් බව කාලනිර්ණයෙන් තහවුරු විය (සිල්වා 2005:1). හමු වූ යාත‍්‍රා සලකුණේ නැව් තට්ටුව, ඇණිය, අවර, කුඹගස මෙන්ම රුවල් ද දක්වා ඇත. කුඹ ගසේ රුවල් රැදවීමට භාවිත කරනු ලබන Yard ද පැහැදිලිව දැකිය හැකි වේ. අනුරාධපුර ඇතුළුනුවර ආශ‍්‍රිතව රොබින් කනින්හැම් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද කැනීමකින් හමු වූ මැටි බඳුන් කැබැල්ලක ද යාත‍්‍රාවක සළකුණකි. මෙහි කුඹ ගස මෙන්ම රුවල ද පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාව පවතී.

පළමු වන ගජබාහු රජු විසින් ගොඩවාය විහාරයේ පිහිටුවා ඇති සෙල් ලිපියක ගොඩවායෙහි වූ වෙළඳ වරායෙන් ලබා ගන්නා අයබදු මෙම විහාරස්ථානයට පූජා කළ බව සඳහන් වේ. එම ලිපියේ සම්පූර්ණ අදහස මෙසේ වේ.

සිධම, ගොඩපවත පටනෙහි සු (ක) සු(රි) යි
රජ ගමිනි අබය විහරට දිනි

යහපතක් වේවා ගොඩපවත වරායෙහි සාමාන්‍ය හා කුඩා අයබදු ගමිනි අබය රජු විහාරයට දෙන ලදී.

මෙම ලිපියෙහි අඩංගු සුක සුරියි යන පද පිළිබඳව විවිධ මත පලකර ඇතත් එහි ප‍්‍රධාන අදහස මෙම වරායෙන් අයකල යම් වර්ගයක බදු මුදල් බව පැහැදිලි ය (මුතුකුමාරණ 2009:3).

මේ සියල්ල මෙරට යාත‍්‍රා භාවිත වූ බවට දියහැකි උදාහරණ කිහිපයක් පමණි. ශ‍්‍රී ලංකාව වටා පුරාවිද්‍යා අවශේෂ වශයෙන් යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මේ වන විට සමත්ව ඇත. මේ අතර බොහොමයක් යාත‍්‍රා යටත් විජිත සමයේ ගිලී ගිය යකඩ භාවිතයෙන් නිමවූ යාත‍්‍රා ය. ශ‍්‍රී ලංකාව වටා වන මුහුදේ උෂ්ණත්වය, පාරිසරික තත්ත්වය හා ලී භාවිතයෙන් යාත‍්‍රා නිමවීම යන කරුණු නිසාවෙන් අතීතයේ ගිලී ගිය යාත‍්‍රාවන්ගේ ශේෂයන් ඉතිරි නොවන්නට ඇත. ගොඩවාය හා අම්බලන්ගොඩ යාත‍්‍රා හැරුණු කොට දකුණු පලාතෙන් සොයාගෙන ඇති ඉතිරි ලී යාත‍්‍රා සියල්ල යටත් විජිත සමයේ ගිලී ගොස් ඇත. මෙම ලිපිය යටතේ අම්බලන්ගොඩ, ගාල්ල, කිරින්ද හා අම්බලන්තොට ආශ‍්‍රිතව ගිලී ගිය ලී නෞකා පිළිබඳ ව අවධානය යොමු කරනු ලැබේ.

1. ගොඩවාය ඉපැරණි නෞකාව

ගොඩවාය නෞකා ගොඩැල්ල

ක‍්‍රිස්තු පූූූූර්ව 2වන සියවසට පමණ අයත් වේ යැයි කාලණිර්ණ කර තිබෙන ගොඩවාය නෞකාව ආසියානු පැසිෆික් කලාපයේ මෙතෙක් හමුවී ඇති පැරණිම නෞකාවයි (Muthucumarana 2013:132). ගොඩවාය නෞකාව සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ප‍්‍රදේශීය කිමිදුම් කරුවන් දෙදෙනෙක් වන පේමින්ද හා සුනිල් යන දෙදෙනා වෙත ය. ඔවුන් කිමිදුම් කටයුතු සිදුකරද්දී ගල් බංකුවක් හා වලංකටු සමූහක් හමු වී ඇත. ගල් බංකුවක් මුහුදු පත්ලේ තිබිය නොහැකි නිසාවෙන් ඔවුන් එය ගොඩට ගෙනවිත් තිබේ. පසුව ගොඩවාය විහාරස්ථානයේ කැනීම් කටයුතු සිදුකරමින් සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරී සනත් කරුණාරත්න හට පෙන්වන ලදී. ඒ අනුව මෙකී ස්ථානය අනාවරණය විය (සනත් 2010:6). ගොඩවාය සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් මීටර් 32ක් ගැඹුරේ නෞකාවේ අවශේෂ පවතී.

ගොඩවායෙන් හමු වූ මෙකී යාත‍්‍රාව නිශ්චිතවම මෙරටට අයත් වූ යාත‍්‍රාවක්ද යන්න පැවසීමට තරම් සාක්‍ෂි නැතත් පෙරදිග රටකට අයත් නෞකාවක් ලෙසින් හැඳිනිය හැක. අතීත මාගම රාජධානියේ ප‍්‍රධාන වරාය වූයේ ගොඩවායයි. වලවේ ගඟ මුවදොර ගොඩවාය වරාය පිහිටීම හේතු කොට ගනිමින් රට අභ්‍යන්තරයේ සිට වරායටත්, වරායේ සිට රට අභ්‍යන්තරයටත් භාණ්ඩ හුවමාරු වූ බව පැහැදිලි ය. ගොඩවාය අවට මුහුදු පත්ලේ ගල් භාවිතයෙන් නිම වූ ගල් නැංගුරම් දැකිය හැක. මෙම සාධකය ද පැහැදිලිවම ගොඩවාය අතීත වරායක් බවට තහවුරු වේ. නෞකාවේ කාලරක්ත වර්ණ මැටිබඳුන් විශාල ප‍්‍රමාණයක් විසිරී පවතී.

ක්‍ෂේත‍්‍රයේ තිබූ මැටි බඳුනක්

මෙම මැටිබඳුන් ගොඩවාය විහාරය, අකුරුගොඩ හා තිස්සමහාරාමයේ කැනීම් මඟින් හමු වූ මැටි බඳුන් හා සමානතාවක් දැකගත හැකි වේ. නෞකාවෙන් ගල් බංකු කිහිපයක් හමු විය. හමු වූ එක් ගල් බංකුවක මත්ස්‍ය, වජ්‍ර හා නන්දිපාද සලකුණු දැකිය හැක. මෙම සලකුණු ක‍්‍රිස්තු පූර්ව යුගයේ භාවිත වූ සංකේත ය. (මුතුකුමාරණ 2011:2) ගල් බංකු මත තිබුණ සංකේත බෞද්ධ සංකේත බව පිළිගත් මතයි. මෙවැනි ගල් බංකු ඇඹරීම් සඳහා භාවිත කරන ලද බවට සාධක අකුරුගොඩ කැනීමෙන් හමු විය. යටාල විහාර කෞතුකාගාරයේ මෙවැනි ගල් බංකු කිහිපයක් ප‍්‍රදර්ශනයට තබා තිබේ.

නෞකාවෙන් හමුවන ලී කොටස් ශක්තිමත්භාවයෙන් යුක්ත ය. මේවා දීර්ඝ කාලයක් මුහුදේ තිබීම නිසාවෙන් පොසිල තත්ත්වයට පත්ව ඇත. ඇතැම් තැනක බොහෝ සෙයින් දිරා ගිය යකඩ කොටස් දැකිය හැකි ය. මේවා පතුරු වශයෙන් ගැලවී යයි (මුතුකුමාරණ 2011:6). ක්‍ෂේත‍්‍රයේ තිබී හමු වූ තඹ කුට්ටි ද විශේෂ වේ. බොහෝවිට මෙම තඹ නෞකාවෙන් ප‍්‍රවාහනය කල භාණ්ඩ අතර තිබෙන්නට ඇත. මැටි භාජන වර්ණ ගැන්වීම සඳහා භාවිතයට ගන්නා ලද ග්ලේස් කුට්ටි (Glaz Ingots) හඳුනා ගැනීමට හැකි විය. මේවා නිල් පැහැයෙන් යුක්ත විය. මින් පෙර මෙවැනි කොටස් හමු වූ බවට වාර්තා නොවේ.

2. රිදී කාසි නැව

රිදී කාසි

දකුණු පලාතේ කිරින්ද හා යාල අතර වන මුහුදු සීමාවේ ඇති පරය රාවනා පරය ලෙසින් හඳුන්වයි. මෙය ඉංගී‍්‍රසියෙන් Great Basses නම් වේ. එහි අර්ථය මහා පරය යන්නයි. මෙම පරය ආශ‍්‍රිතව මුහුදු ගමන් මාර්ගය වැටී පැවතීම හේතුවෙන් බොහෝ නෞකා විනාශයට පත්ව ඇත. බි‍්‍රතාන්‍යයන් මෙහි ඇති අවධානම හේතුවෙන් සංඥා එළි නිකුත්කරන යාත‍්‍රා නවතා තැබීමට කටයුතු කර ඇත (විජේබණ්ඩාර 2011:161,162) මෙම යාත‍්‍රා සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවීමත් එය එතරම් සාරථක නොවීමත් යන කාරුණු මත මෙම ස්ථානයේ ප‍්‍රදීපාගාර දෙකක් ඉදිකර තිබේ. රිදී කාසි නැව ද මෙම මහා පරයේ වැදී අනතුරට ලක්ව ගිලී ගිය නෞකාවකි. රිදී කාසි නැව පළමු වරට සොයාගනු ලැබුවේ 1961 වර්ෂයේ දී ය. මයික් විල්සන් සමග කිමිදුම් කටයුතු කල දහහතර හැවිරිදි බොබී ක‍්‍රීගෙල් (Bobby Kriegel) හා දහතුන් හැවිරිදි මාර්ක් ස්මිත් (Mark Smith) විසිනි. එහි දී ඔවුන් රිදීකාසි හා පිත්තල කාලතුවක්කු දෙකක් ගොඩ ගෙනා බව සඳහන් වේ (Clarke 1964:31,35). මෙහි රිදී කාසි දහස බැගින් රෙදි මළුවල තැම්පත් කර තිබිණ.

Bobby Kriegel හා Mark Smith රිදී කාසි සමඟ

නැව වයඹ දිග ඉන්දියාවේ සූරත්හි නිපදවන ලද රිදීකාසි තොගයක් ප‍්‍රවාහන කරමින් තිබියදී වර්ෂ 1702 මහා රාවණා පරය ආශ‍්‍රිතව අනතුරට ලක්ව ඇත. ඉන්දියාව පාලනය කරන ලද ඔරාන්ග්සිබ් (Aurangzeb) නම් මෝගල් අදිරාජ්‍යාට (1658-1707) අයත් අයත් රිදී කාසි මෙහි විය. මෙහු තම අධිරාජ්‍ය භාරතය පුරාව පැතිර වූ අධිරාජ්‍යයෙක් ලෙස ප‍්‍රසිද්ධය. එය ප‍්‍රමාණයෙන් නන්ද හා මෞර්ය අධිරාජ්‍ය තරම් වූ බව කිය වේ (විජේතුංග 2012:111).

 

මයික් විල්සන් (Mike Wilson) රොඩ්නි ජොන්ක්ලස් (Rodney Jonklaas) හා ආතර් සී. ක්ලාර්ක් යන මහත්වරුන් මෙම ස්ථානයේ කිමිදී ඇත. අනතුරුව එවක පුරාවිද්‍යා කොමසාරිස්ව කටයුතු කල චාල්ස් ගොඩකුඹුරගේ අවසරය හා සහයෝගය මත ක‍්‍රමානුකූල පර්යේෂණයක් සිදුකර ඇත. මේ සඳහා මුහුදු පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂඥයෙකු වූ පීටර් තෝක්මෝටන් (Peter Thockmoton) සහභාගී විය. මෙරට ජලාශ‍්‍රිත පුරාවිද්‍යා උරුමය සම්බන්ධ ප‍්‍රථම පර්යේෂණය ද මෙය විය. එහි දී නැව ආශ‍්‍රිත සැළසුමක් සකස් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. මෙහිදී අඩි 4.5 දිග අලංකාර කාල තුවක්කුවක්, පිත්තල බන්දේසියක් හා කාලතුවක්කු උණ්ඩ ගොඩගෙනාබව සඳහන් වේ (Clarke 1964: 144-146).

මෙම ස්ථානයේ කිමිදුම් කළ හැකි වන්නේ වර්ෂයකට දින කිහිපයක් පමණි. 2009 හා 2011 යන වර්ෂයන්හී දී ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම නැව ආශ‍්‍රිතව පර්යේෂණ කටයුතු සිදුකර ඇත. එහි දී කාලතුවක්කු හා විසිරී පැවතුණු රිදී කාසි කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකි විය.

3. ඇවෝන්ස්ටර් නෞකාව (Avondster)

Avondster නෞකාව කැණීම් අතර තුර

1641 වර්ෂයේ දී බි‍්‍රතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළද සමාගම නෞකාව මිලට ගෙන තිබේ. ඔවුන් මෙය ආශිර්වාද (BLESSING) ලෙස නැව නම්කර ඇත. මුල් කාලීන ව දීර්ඝ නෞකා කටයුතු සඳහා භාවිත කර ඇත. 1645 වර්ෂයේ දී ඉන්දියාවේ සුරාත් වෙත පැමිණ 1650 දක්වා ආසියානු කලාපයේ වෙළඳ කටයුතු සඳහා නෞකාව දායකව ඇත. පෙරදිග වෙළඳ ආදිපත්‍ය උදෙසා ඉංග‍්‍රිසි හා ලන්දේසි ජාතිකයින් බල අරගලයක නිරත විය. 1652 වර්ෂයේ මොවුන් අතර යුද්ධයක් හට ගත්හ. මෙය ගොඩබිම යුද්ධයක් නොව මුහුදේ කෙරුණු යුද්ධයක් විය. ආශිර්වාද නෞකාව ද මෙම සටන සඳහා එක්කර ගත්හ. එහි කාර්යභාරය වූයේ සටන් වැදී සිටින බි‍්‍රතාන්‍ය නෞකාවන්ට අවශ්‍ය යුධෝපකරණ ආහාර ද්‍රව්‍ය හා සෙබලුන් සැපයීමයි. 1653 දී පර්සියාවට ආසන්න මුහුදේ බි‍්‍රතාන්‍ය හා ඕලන්ද නෞකා අතර දරුණු සටන් ඇති විය. ආශිර්වාද නෞකාව තම භටයින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන විට යුද්ධය අවසන් වී තිබිණ. ඒ ලන්දේසීන්ට ජයග‍්‍රහනය අත්කර දෙමිනි. ඒ වන විටත් බි‍්‍රතාන්‍ය නෞකා රැසක් ඕලන්ද ජාතිකයින් අත පත්ව තිබිණ. සතුරු නෞකාවලට මැදි වූ ආශිර්වාද නෞකාව තනිව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට විය. සටනින් නියත පරාජයක් අත්වන බව දැනගත් ආශිර්වාද නෞකාවේ කපිතාන්වරයා යටත් වන්නට තීරණය කලේය. ඒ කොන්දේසි කිහිපයක් පනවමිනි. තම නෞකාවේ කිසිවෙකුට අනතුරක් නොකරන්නේ නම් යටත්වන බවත් කොන්දේසි වලට එකඟ නොමැති නම් මැරෙන තුරු සටන් වදින බව දන්වා යවන ලදී. කොන්දේසි වලට එකඟ වූ ඕලන්ද ජාතිකයින් පිරිස් හා නැව අත්අඩංගුවට ගත්හ. පසුව නැව නෙදර්ලන්තයේ දී නැවත අලුත්වැඩියා කර ඇත.

නෞකාවෙන් හමුවූ පුරාවස්තුවක්

1655 වර්ෂයේ දී නැවතත් අලුත්වැඩියා කළ ආශිර්වාද නෞකාව බතාවියා වෙත එවන ලදී. ඒ ඇවෝන්ඩස්ටර් ලෙස නම්කිරීමෙන් අනතුරුව ය (Parthesius 2007:12-13). එහි අරුත සැදෑ තරුව හෙවත් ඉරබටු තරුවයි. ඇවෝන්ඞ්ස්ටර් 1656 ජපානය දක්වා ගමන් කර නැවත ඕලන්දයට පැමිණ තිබේ. නෞකාව අබලන් සහගත තත්ත්වයෙන් ඕලන්දය කරා පැමිණෙන විටත් ජලය කාන්දු වෙමින් තිබිණ. පසුව ඕලන්දයේ දී නැවතත් අලුත්වැඩියා කරන ලද අතර අනතුරුව බතාවියා හා ඉන්දුනීසියා කලාපයේ යාත‍්‍රා කිරීමට යොදාගෙන ඇත. 1658 වර්ෂයේ ඇවෝන්ඞ්ස්ටර් නෞකාව ලංකාවට පැමිණ තිබේ. ගාල්ල වරායේ නවතා තිබිය දී නැංගුරම සම්බන්ධ ලණුව කැඞී යාම හේතුවෙන් 1659 වර්ෂයේ විනාශයට පත්විය.

නෞකාව සොයාගනු ලැබුවේ 1992 වර්ෂයේ දී ය. ඒ ගාල්ල වරායේ සිදුකල ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. 2001 වර්ෂයේ දී නෙදර්ලන්ත ආධාර ඇතිව මධ්‍යම සංස්කෘතික අරමුදල නෞකාවේ කැනීම් කටයුතු ආරම්භ කරන්නට විය. එහිදී වැදගත් කරුණු රාශියක් හා පුරාවස්තු සොයාගැනීමට හැකියාව ලැබිණ. නැව මත රොන්මඩ තැම්පත් වීම මත බොහෝ කොටස් ආරක්‍ෂා සහිතව තිබිණ. එහි මධ්‍ය කොටසේ මුළුතැන්ගෙය විය. මුළුතැන්ගෙයි තිබී පිගන්, මැටිබඳුන්, හැඳි ආදී භාණ්ඩ රැසක් හමු විය. නැවේ පිටුපස කොටසේ සිදුකරන ලද කැනීමෙන් එහි තිබී යුධ උපකරණ සොයාගැනීමට හැකි විය. ඇවෝඞ්ස්ටර් නෞකාවෙන් අනාවරණය කරගත් පුරාවස්තු ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට කටයුතු කර ඇත.

4. හර්කියුලිස් නෞකාව (Hercules)

Hercules නෞකාවේ සීනුව

ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගමට අයත් වූවකි. නෞකාවේ කාලතුවක්කු 36 සවිකර තිබී ඇත. 1625 වසරේ ඕලන්දයේ ඇමස්ටර්ඩෑම් වරායේ නැව නිපදවා තිබේ. ජාවා, සුමත‍්‍රා, මලක්කාව, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදාගත්හ. 1661 වර්ෂයේ මැයි මස 22 වන දින ගාලුු වරායේ දී යාත‍්‍රාව ගිලීගොස් ඇත. ගිලීයන අවස්ථාවේ කුරුදු පෙට්ටි 17,000ක් හා තවත් වෙළඳ භාණ්ඩ තිබී ඇත.

ඇසින් දුටු සාක්ෂිකරුවකු උපුටා දක්වමින් ලන්දේසි ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ උසස් නිලධරියෙක් කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව තෝලන් (Thoolen) ඇන්ග්ලියර් (Angelier) හර්කියුලිස් (Hurcules) සහ එල්බර්ග් (Elburg) යන ලන්දේසි නැව් බතාවියා දක්වා යාත‍්‍රා කිරීමට නියමිතව තිබිණ. එම අවස්ථවේ ඇති වූ සුලඟකින් හර්කියුලිස් නැවේ නැංගුරම දැමූ ලණුව කැඞී ගොස් ගල්පරයක වැදී නැව විනාශ වී ඇත.

පසුව කරන ලද ගවේෂණයක දී නෞකාවේ සීනුව සොයාගැනීමට හැකි විය. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ‌මෙම සීනුව තැන්පත්කර ඇත. නැව නිෂ්පාදනය කරන ලද වර්ෂය ලෙසින් සීනුවේ සටහන්වන්නේ 1625 යි. ලෝකඩින් නිර්මාණය කරන ලද සීනුව මතුපිට AMORVINCIT OMNIAANNO හෙවත් LOVE CONQUERS ALL ආදරය සියල්ල විජයග‍්‍රහනය කරනවා යනුවෙන් සඳහන් කර ඇත.

නෞකාවේ කාලතුවක්කු මුහුදු පත්ලේ ඇති ආකාරය

ගාලු වරායේ ගිබන් දූපත ආසන්නයේ නෞකාවේ අවශේෂ මීටර් 50ක් පමණ දුරට විසිරි පවතී. වර්තමානය වන විට කාලතුවක්කු පමණක් දැකිය හැක. ගල් පර අතර රැදී ඇති කාල තුවක්කු මීටර් 5ක් පමණ ගැඹුරේ ස්ථානගතව තිබේ. මේ ආසන්නයේ තිබී මුහුදේ ගැඹුර මනිනු ලබන උපකරණ දෙකක් (Sounding Led) හා ඊයම් භාවිතයෙන් නිම වූ පුරාවස්තුවක් හමුව තිබේ. මේවා හර්කියුලිස් නෞකාවේ භාවිත කරන ලද උපකරණ ලෙස සැලකේ.

5. ගාලු වරායේ ගිලීගිය, හඳුනා නොගත් ලී නෞකාව (Site E)

Site E නෞකාවේ සැළැස්ම

ගාලු වරායේ ගිලී ගොස් ඇති මෙම නෞකාව ද ඇවෝස්න්ටර් නෞකාව මෙන් රොන්මඩින් වැසී පවතී. ගිලීගිය කාලවකවානු පිළිබඳව නිශ්චිතවම සඳහන් කිරීමට හැකියාවක් නොමැත (Jeffery & Mutukumarana 2005:37). මෙම නෞකාව පළමුව අනාවරණය වූයේ 1992 වර්ෂයේ ගාලු වරාය ආශ‍්‍රිත සිදුකරනු ලැබූ ගවේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙහි ප‍්‍රධාන කොටස් වැල්ලෙන් වැසී පවතී (Green, Millar, Devendra 1993:3).

යාත‍්‍රාවේ නිර්මාණ ලක්‍ෂණ අනුව යුරෝපීය හෝ ඇමරිකානු සම්බවයක් දක්නට ලබෙන බවටද අදහස් පල වී තිබේ. නෞකාවේ ලී කොටස් ඉහලට එස වී පවතී. නෞකාව සමබර කිරීම උදෙසා භාවිත කළුගල් විශාල වශයෙන් දක්නට ලැබේ. එම ගල් වලට යටින් ලී තට්ටුවේ කොටස් දැකිය හැකි වේ. නෞකාව නිපදවීම සඳහා රතු ඕක් (Red Oak) ලී භාවිත කර තිබේ (Green 1992:22). නෞකා බඳට ලී සම්බන්ධ කිරීම සඳහා භාවිත කළ තඹ ඇණ නෞකාවෙන් හමු වේ. එසේම මෙම ස්ථානය ගවේෂණය කිරීමේ දී මතුපිට පුරාවස්තු වශයෙන් දුම් නල අනාවරණය කරගෙන ඇත. ගාලූ වරාය තුළ වන අදුරු ස්වභාවය නිසාවෙන් නිරන්තරයෙන්ම පැහැදිලි දෘශ්‍යතාවක් මෙහි දැකිය නොහැක. මීටර් 3ක් පමණ ගැඹුරේ කොටස් තැම්පත්ව ඇත. තරමක් ඉහලට එස වී තිබෙන ලී කොටස් දැකිය හැකි වේ.

6. අම්බලන්ගොඩ ලී නෞකාව

1998 වර්ෂයේ හමුවූ පුරාවස්තු

අම්බලන්ගොඩ ධීවර වරාය තුළින් හමුවන දැවමය යාත‍්‍රාව පිළිබඳ ව මුලින්ම තොරතුරු හමුවන්නේ 1998 වර්ෂයේ දී ය. එම වර්ෂයේ දී අම්බලන්ගොඩ ධීවර වරාය අවට ප‍්‍රදේශවාසීන් හා ධිවරයින් විසින් වෙරළට මීටර 50ක් පමණ දුරින් වරාය ඇතුළත මුහුදු පත්ලෙන් යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භාණ්ඩ අනාවරණය කොටගෙන ඇත. මෙම සිදුවීම පුවත්පත්වල පළවීතිබිණ. ගිහාන් ජයතිලක හා නෙරීනා ද සිල්වාගේ මූළිකත්වයෙන් එම ප‍්‍රදේශය ආශි‍්‍රතව සිදුකළ ගවේෂණය වැදගත් වේ. ක්‍ෂේත‍්‍රයේ තත්කාලීන ස්වභාවය හා ප‍්‍රදේශයේ ධීවර සමාජයේ යම් යම් පුද්ගලයින් විසින් ලබාදුන් තොරතුරු පිළිබඳ එහි දී සොයාබලන ලදී. ඒ වන විට යාත‍්‍රාව තිබූ ස්ථානය වැල්ලෙන් යට වී තිබූ අතර කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. එම දැව කොටස් දුටු අයගෙන් තොරතුරු ලබාගෙන ප‍්‍රදේශවාසින් විසින් ගොඩගෙන තිබූ පුරාවස්තු වාර්තාගත කර ඇත. ඒ අතර ඇඹරුම් ගලක්, බර කිරුම් පඩියක්, කොට්ටා පොල්, කිරි කවඩි, කුඩා කාලතුවක්කු උණ්ඩ දෙකක්, මෝස්තර සහිත පිඟන් බඩු, සුදු හා නිල් පැහැති චීන පෝසිලේන් බඳුන් කොටසක්, ඇත් දත් මිට සහිත මුතු කර්මාන්තය සඳහා භාවිත කළ නියනක් වැනි උපකරණයක්, දිශානතිය සොයා ගන්නා උපකරණයක කොටසක් (Astrolabe) වැනි දෑ විය.

නෞකාවෙන් හමුවන කිරි කවඩි

දේව රූපයක් පිළිබඳ තොරතුරු ලැබුන ද එය සොයාගත නොහැකි වී තිබේ. මේ සියලු තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු එම යාත‍්‍රාව ඉන්දීයාව හා ලංකාව අතර වෙළඳාමේ යෙදවූවක් විය හැකි බවට මත පල විය (Jayatilaka, Silva, Weerasingha….1998, 1).

මෙම යාත‍්‍රාව ආසියානු සම්භවයක් සහිත බවට සෝමසිරි දේවේන්ද්‍ර ද සඳහන්කරයි. ඔහු පවසන්නේ මෙය බොහෝ විට යාපනය තෝනි (JaffnaThoni) නමින් හැඳින්වු යාත‍්‍රා විශේෂය විය හැකි බවයි. සොයාගත් භාණ්ඩ ආසියානු ඉහුම් පිහුම් උපකරණ බව මොහු සඳහන් කරයි (Devendra 2005: 5). වර්ෂ 2007 දී අම්බලන්ගොඩ වරාය ආශ‍්‍රිතව ගෙන ගිය සංවර්ධන වැඩ පිළිවෙලේ දී මුහුදු පත්ල හෑරීමකට ලක්කළ අතර එහිදී පුරාවස්තු රැසක් අනාවරණය විය. හමු වූ පුරාවස්තු අතර කිරිකවඩි (Cowry Shells, Cypraea moneta), තඹ පිඟන් හා බඳුන් (Copper Plates & Jars), සෙරමික් මැටි බඳුන් හා ලෝහමය පුරාවස්තු වාර්තා වී ඇත. ප‍්‍රදේශයේ යම් යම් පුද්ගලයින්ට කාලතුවක්කු හමු වූ බව ද වාර්තා වේ. හමු වූ එක් කාලතුවක්කුවක් ලණුවලින් බැඳ තිබූ බවට ද සාක්ෂි විය. ඒ අනුව වරාය සංවර්ධන කටයුතු අතරතුර දී ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් එක්දින ගවේෂණයක නිරතවිය. එහිදී යන්ත‍්‍රාණුසාරයෙන් (Dredgin Machine) හාරන ලද ස්ථානය ඇතුළු අවට ප‍්‍රදේශය විශේෂ අවධානයට ලක් කළහ. මීටර් තුනක් පමණ ගැඹුරකින් ප‍්‍රදේශය යුක්ත විය. අවට ප‍්‍රදේශය ආශ‍්‍රිතව අනාවරණය කර ගැනීමට හැකි වූයේ විශාල ප‍්‍රමාණයක් වූ කිරි කවඩි පමණි. මුහුදු පත්ල හෑරීමේ දී මතු වූ පුරාවස්තු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන ගොස් තිබූ අතර එම භාණ්ඩ මුහුදු පුරාවිද්‍යා ඒකකය වෙත ගෙන එන ලදි. අරාබි අක්‍ෂර සහිත තඹ භාජන හා පිඟන් එහි තිබිණ. අක්‍ෂර සහිත භාජන දෙකක් එහි විය. වරාය හාරන මැෂිම හරහා තඹ භාජන ගමන් කිරීමෙන් ඒ්වා කැඞී ඇඹරීමට ලක්ව තිබිණ. තඹ භාජන දෙකේ දක්නට ඇති අරාබි අක්‍ෂර වල තිත් රහිත ය. අරාබි අක්‍ෂර වල තිත භාවිතය ආරම්භ වූයේ ඉස්ලාම් ආගම බිහි වූවාට පසුව ය. ඒ ක්‍රිස්තු වර්ෂ 6වන සියවසින් පසුව ය.

අක්‍ෂර සහිත තඹ බඳුන

මෙම අක්‍ෂරහී තිත් භාවිත කොට නොමැත. එබැවින් මෙම අක්‍ෂර ඉස්ලාමයට පෙර අක්ෂර බව පැහැදිලි ය. තඹ භාජන දෙකේම සටහන්ව ඇත්තේ එකම කරුණයි. ඒ ‘අබ්දුල් රාබ් ඔහුට ප‍්‍රධානය කරන ලදී’ (Mr.Abdul Rabb Awarded to him) ලෙස ය. (Karunarathna, Saleem, Chandrarathne 2016:92). අරාබි අක්ෂර හමුවීමෙන් නෞකාවේ කාලනිර්ණය හා ආසියානු සම්භවයක් සහිත යාත‍්‍රාවක්ය යන මතය අභියෝගයට ලක් විය.

2012 වර්ෂයේ මාර්තු මස 1 සිට අපේ‍්‍රල් 10 වන දින දක්වා මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම යාත‍්‍රාව ගිලී පවතින ස්ථානයේ කැනීමක් සිදුකරන ලදී. එහිදී මීටර් 1ක් පමණ ප‍්‍රමාණයට මුහුදු පත්ල කැනීම් කරන ලදී. නමුත් නෞකාවේ අවශේෂ සොයාගත නොහැකි විය. බොහෝ විට තවත් මීටර් කිහිපයක් වැලි වලින් යටව පවතින්නට පුලුවන. තාක්‍ෂණික උපකරණවල පැවති අඩුලුහුඩුකම් මත පර්යේෂණය ඉදිරියට රැගෙනයාමට බාධා ඇති විය.

නිගමනය

මෙරට වරායන් අතර ප‍්‍රධානතම වරායන් කිහිපයක් දකුණු පලාත ආශ‍්‍රිතව පිහිටා ඇත. ගොඩවාය හා ගාල්ල ඒ අතර ප‍්‍රධාන වේ. ඊට අමතරව ප‍්‍රදේශීයව සංවර්ධනය වූ පැරණි වරායන් විශාල ප‍්‍රමාණයක් දැකිය හැකි ය. අම්බලන්ගොඩ, දොඩන්දූව, වැලිගම, කිරින්ද, පොත්තන එවැනි පැරණි වරායන් කිහිපයක් පමණි. මෙකී වරායන් වෙත කි‍්‍රස්තු පූර්ව යුගයේ සිටම නෞකා පැමිණි බවට සාධක වේ. නමුත් ගිලීගිය යාත‍්‍රා අවශේෂ හමුවන්නේ ස්වල්පයකි. මෙරට මුහුදේ ස්වභාවය පැරණි නෞකා අවශේෂ ඉතිරි නොවන්නට හේතු විය. යටත් විජිත සමයේ ගිලීගිය ලී නෞකා හඳුනාගැනීමට හැකි වන්නේ ඒවායේ යකඩ භාවිත කර ඇති හෙයිනි. වර්තමානය වන විට ඇතැම් නෞකාවන්හී භාවිත කල ලී අවශේෂ දැකිය හැකි වූවද ඇතැම් තැනක ලී අවශේෂ දැකිය නොහැක. විශේෂයෙන්ම හර්කියුලිස් නෞකාව හා රිදී කාසි නැව පෙන්වා දිය හැක. ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පුරාක්‍ෂේත‍්‍ර සොයාගනු ලබන්නේ ප‍්‍රදේශීය පුද්ගලයින් ලබාදෙන තොරතුරු මතය. ඒ අතර ‌බොහෝමයක් යකඩ නෞකාවන් ය. තවමත් ක‍්‍රමවත් විද්‍යාත්මක ගවේෂණයකට ලක්කර ඇත්තේ ගාල්ල වරාය ආශ‍්‍රිත කලාපය පමණි. එබැවින් ලංකාව වටා මෙතෙක් අනාවණයකර ගැනීමට නොහැකි වූ නෞකාවන් බොහෝ ප‍්‍රමාණයක් සැගව පවතින්නට පුලුවන.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • මහාවංශය (2004), බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 125, ඇන්ඩර්සන් පාර, නැදිමාල, දෙහිවල,
  • විජේසූරිය විමල (1987), රුහුණේ අප‍්‍රකට පුරාවෘත, තරංජි ප‍්‍රින්ටර්ස්.
  • මුතුකුමාරණ, රසික (2009), දළනිදු, වෙළුම 1 කාණ්ඩය 1 ඔක්තෝම්බර්, ගෝඨ පබ්බත රජමහා විහාරය, මුහුදු පුරාවිද්‍යා ඒකකය, සංස්. රසික මුතුකුමාරණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.
  • මුතුකුමාරණ, රසික (2011), දළනිදු, වෙළුම 3, කාණ්ඩය 1 ජනවාරි , ගොඩවාය පුරාක්ෂේත‍්‍රය -සංස්කෘතික සහයෝගීතා වැඩසටහන, සංස්කණය රසික මුතුකුමාණ, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල, විද්‍යුත් පුවත් සරණිය.
  • විජේබණ්ඩාර, කි‍්‍රෂ්ණ (2011), චතුදිශ රුසිරු දුටුවෙම් ගොඩපවත් පටුන් මනොරමෙ, වයඹ සහ රුහුණු මුහුදේ නාවික වෘත්තාන්ත, එස්. ඇන්ඩි. එස්. ප‍්‍රින්ටර්ස්, කොළඹ.
  • සනත්, ඩබ්.කේ. (2010), දළනිදු, වෙළුම 2 කාණ්ඩය 2 අපේ‍්‍රල්, ගොඩවාය මුහුදු පත්ලෙන් හමුවන බෞද්ධ සලකුණු, මුහුදු පුරාවිද්‍යා ඒකකය, සංස්. රසික මුතුකුමාරණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල, විද්‍යුත් පුවත් සරණිය.
  • ද සිල්වා නිමල් (2005), හම්බන්තොට දිස්ත‍්‍රික්කය, සමාජ සංස්කෘතික උරුමය, මොරවක මුද්‍රණාලය, කොට්ටාව, පන්නිපිටිය.
  • විජේතුංග, ඩබ්ලිව්.එම්.කේ. (2012), මූගල් ඉන්දියාව, සී/ස සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
  • Clarke, Arthur C. (1964), The Treasure of the Great Reef, Harper & row, Publisher,
  • Devendra Somasiri (2005), RESEARCHING SRI LANKA’S MARITIME HERITAGE, Maritime Lanka – July, (Edited) Rasika Muthucumarana, Maritime Archaeology Unit, Galle.
  • Green Jeremy, Millar Karen, Devendra Somasiri (1993), Maritime Archaeology in Sri Lanka The Galle Harbour Project – 1993 interim Report, Department Of maritime Archaeology Western Australian Maritime Museum No 65.
  • Green Jeremy (1992), Maritime Archaeological Research Programme in Galle 1992, Maritime Archaeology in Sri Lanka The Galle Harbour Project 1992 (Edited) Jeremy Green, Somasiri Devendra, Postgraduate Institute of Archaeology, University of kelaniya.
  • Jayatilaka Gihan, Silva de Nerina, Weerasingha palitha, Dawson Tom, Wijenayake P, Jayanthi P G J. (1998), Ambalangoda Shipwreck Project on Preliminary Investigation.
  • Jeffery Bill & Muthucumarana Rasika. (2005), THE TSUNAMI EFFECTSBased on the ongoing assignment to assess the damagers and changers to the underwater archaeological sites in Galle harbour, Maritime Lanka, July, (Edited) Rasika Muthucumarana, Maritime Archaeology Unit, Galle.
  • Karunarathne Mahinda, Saleem Mohamed Sulthan Mohamed, chandrarathne W.M. (2016), Hidden Past of a Natural Harbour:Maritime Archaeological investigation in Ancient Harbour at Ambalangoda Sri Lanka, The Proceedings of the Second Archaeological Research Symposium, University Of Rajarata (Edided) D. Thusitha Mendis, Rajarata University of Sri Lanka, Mihintale.
  • Muthucumarana Rasika (2013), The ancient wreck at Godawaya, Maritime Heritage of lanka Ancient ports and harbours, (Edited by) Sarala Fernando, Gunaratne Offset (Pvt) Ltd.
-------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.09.10 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

කොක්එබේ, මෙගලිතික සුසානය කැනීමේ අනාවරණ හා මධ්‍ය යාන්ඔය නිම්නයේ පුරාණ මානව ජනාවාසකරණය

ආචාර්ය ඩී. තුසිත මැන්දිස්

ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ්‍.

හැඳින්වීම

ඩී. තුසිත මැන්දිස්

මධ්‍ය යාන්ඔය නිම්නයට ආශ‍්‍රිත ව මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එම නිම්නයේ ආරම්භක මානව පැලපදියම් වීම මධ්‍යශිලා යුගයේ (Mesolithic period) සිඳුවන බව දැනට සිදුකර ඇති මූලික ගවේශනවලින් තහවුරුකර ගෙන තිබේ. සිරාන් දැරණියගල පෙන්වා දෙන ආකාරයට මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේට නුදුරු සංගිලිමලෙයි කන්දේ ඇති ලෙනකින් හා වවුල් ලෙන ආශි‍්‍රත ව තිරුවානා පතුරු (Quartz flake) වාර්තා වී ඇති අතර ඔහු උපකල්පනය කරනු ලබන්නේ මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිත ව මධ්‍යශිලා මානව වාසස්ථාන පවතින්නට වැඩි ඉඩකඩක් ඇති බව ය (Deraniyagala 1982 in Seneviratne 2007:150). මධ්‍ය යාන් ඔය නිම්නය තුළ මධ්‍යශිලා යුගයේ මිනිසුන් ජනපද පිහිටුවා ගැනීමෙන් අනතුරුව පූර්ව ඉතිහාසයට (Proto Histoty) අයත් ජන පිරිස් එම නිම්නයේ ස්ථානගතවීම හඳුනාගත හැකි ය. ආර්.ඩබ්. ලීවර්ස් 1885, රාජා ද සිල්වා සහ එස්.කේ. සිත‍්‍රම්පලම් 1965/66, සුදර්ශන් සෙනෙවිරත්න 1984, රංජිත් දිසානායක 2013 ආදී විද්වතුන් විසින් සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණ පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී මධ්‍ය යාන්ඔය නිම්නයේ වර්ග කිලෝමීටර් 1400 භූ වපසරිය තුළ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන ස්ථාන 24ක් කාලරක්ත වර්ණ මැටිමෙවලම් හමුවන ස්ථාන හයක් පමණ පවතින බව වාර්තාකර තිබේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ පූර්ව ඓතිහාසික සංස්කෘතියට අදාළ පැරණිත ම සාධක දැනට වාර්තා වන්නේ අනුරාධපුර ඇතුළුපුරයෙනි. විකිරණමාන දින නියමකිරීම් හා ඔක්ස්කැල් කාලනිර්ණ කිරීම් අනුව එම සංස්කෘතිය ක‍්‍රිස්තු පුර්ව 1000 තරම් ඈතට ගමන් කරන බව සිරාන් දැරණියගල තහවුරු කර ගෙන තිබේ (Deraniyagala 1992:707-712; Deraniyagala & Abyerathne: 707-731). නමුත් මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත ව පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් සුසාන ස්ථාන රාශියක් වාර්තා වී තිබෙන අතර ඒවා වඩිගවැව, ගුරුගල්හින්න, කොක්එබේ, රඹෑව, තම්මැන්නාගොඩැල්ල, වළහවිද්දවැව, දිවුල්වැව, මරදන්මඩුව, පරංගියාවාඩිය (නිකවැව) ආදී ස්ථාන වල ස්ථානගත වී ඇත ඒ අතරින් 2013 වර්ෂයේ දී රංජිත් දිසානායක තම්මැන්නාගොඩැල්ල ආශ‍්‍රිත ව පුරාවිද්‍යා කැනීම් සිඳුකර එම සුසාන භූමිය ක‍්‍රිස්තු පුර්ව 490 අදින් අවුරුදු 2490ක් පැරණි බව තහවුරු කර ගෙන තිබේ. එම පර්යේෂණ දත්ත අනුව අනුරාධපුර නගරයෙන් නැගෙනහිර දිශාවට පූර්ව ඓතිහාසික සංස්කෘතිය විහිදීමේ ස්වභාවයක් පෙන්නුම් කර තිබුණ ද 2016 වර්ෂයේ කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිතව සිදු කරන ලද කැනීම් වලින් ලැබී ඇති කාලනීර්ණ අනුව එම තත්ත්වය වෙනස්වන බව පෙනේ.

පූර්ව පර්යේෂණ

හොරොව්පොතාන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොක්එබේ ප‍්‍රදේශයේ මානව ජනාවාසකරණය සම්බන්ධව පර්යේෂණ 1960 දශකයේදී පමණ ආරම්භ වේ. සී.ඩබ්. නිකලස් විසින් 1963 වර්යේ දී මෙම ප‍්‍රදේශයේ ගවේෂණය සිදුකර ඇත (Nicholas 1963:169-171) ඉන් පසුව සෙනරත් පරණවිතාන විසින් කොක්එබේ ප‍්‍රදේශයේ පවතින මුල් බ‍්‍රාහ්මී අභිලේඛන වාර්තාකර ඇත (Paranavithana 1970:Nos.162). ඉන් අනතුරුව රාජා ද සිල්වා සහ එස්.කේ. සිත‍්‍රම්පලම් විසින් කොක්එබේ මෙගලිතික සුසානය ආශ‍්‍රිතව ගවේෂණය කර සුසාන 200 පමණ පවතින බව හඳුනාගෙන ඇත. එසේ ම සිරාන් දැරණියගල විසින් 1982 වර්ෂයේ දී කොක්එබේ වවුල් ලෙන හා සංගිලිමලෙයි කන්ද ආශ‍්‍රිත ව ඇති ගල් ලෙන් ගවේෂණය කර ඇති අතර වවුල් ලෙන ආශ‍්‍රිත ව ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් විය හැකි පතුරු මෙවලම් හමු වූ බව වාර්තාකර තිබේ (Deraniyagala 1982 in Seneviratne 2007:150). කොක්එබේ ප‍්‍රදේශය ආශ‍්‍රිත ව සුදර්ශන් සෙනවිරත්න විසින් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ වලදී අක්කර 10-15 අතර ප‍්‍රදේශයක ව්‍යාප්තවන ශිලා මංජුසා වර්ගයේ සුසාන භූමියක් පවතින බව වැඩිදුරටත් පෙන්වා දී ඇත (Seneviratne 1984:237-305).

කොක්එබේ මහාශිලා සුසාන සංකීර්ණයේ ස්ථානගත වීම

කොක්එබේ මෙගලිතික සුසානය ආශ‍්‍රිත නව සොයා ගැනීම් හා තදාශ‍්‍රිත ප‍්‍රදේශයේ මානව ජනාවාසකරණය

2016 වර්ෂයේ ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය විසින් කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත ව පර්යේෂණ ආරම්භ කරනු ලැබූ අතර එහි දී මතුපිට සිදුකරන ලද ගවේෂණ අනුව හෙක්ටයාර් 10ක පමණ භූමිය පුරා ව්‍යාප්තවන ගල් සොහොන් 267ක් පමණ පවතින බව හඳුනාගන්නා ලදි. එසේ ම යථෝක්ත ගවේෂණයේ දී එම සුසාන භූමිය ආශ‍්‍රිත ව එතෙක් හඳුනාගෙන තිබූ ශිලා මංජුසා සුසාන ආකෘතියට අමතරව තවත් සුසාන ආකෘති හතරක් පවතින බව මුල් වරට හඳුනාගන්නා ලදි. ඒ අනුව කොක්එබේ මෙගලිතික සුසාන භූමියේ සුසාන ආකෘති පහක් පවතින බව පෙන්වාදිය හැකි ය.

  • ශිලා මංජුසා සූසාන (Cist burial)
  • ශිලා කේතුක සූසාන (Cairn heap / Cairn mounds)
  • ශිලා මණ්ඩල සූසාන (Cairn circle)
  • ශිලා පෙළ සූසාන (Alignment)
  • බරණි සුසාන (Urn pot) (මැන්දිස් 2016:150-153)

කොක්එබේ මෙගලිතික සොහොන් භූමිය ආශ‍්‍රිත ව සිදු කරනු ලැබූ මූලික ගවේෂණයෙන් පසු ව ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරය පරිදි 2016 වර්ෂයේ තෝරාගත් සුසාන තුනක පර්යේෂණ පුරාවිද්‍යා කැනීම් සිදු කරන ලදි. එම කැනීම් වලදී පුර්ව ඓතිහාසික යුගයේ මධ්‍ය යාන්ඔය නිම්නයේ ජීවත් වූ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද විවිධ හැඩයන් ගෙන් යුත් කාලරක්ත වර්ණ මැටි බඳුන් (Black and Red Ware) හා නිල්, කොළ, දුඔුරු ආදී වර්ණයන් ගෙන් නිර්මිත 100කට අධික වීදුරු පබළු හා දළ වලින් නිර්මාණය කළ පබළු කිහිපයක් හා කානීලියන් වලින් නිර්මිත පබළු සොයාගනු ලැබූ අතර එම ද්‍රව්‍යය සියල්ලම සුසාන තැන්පතු ලෙස සුසාන අභ්‍යන්තරයේ තැන්පත් කර තිබු ඒවා විය. මෙම සුසාන ද්‍රව්‍යය (Grave goods) මානව අස්ථි සමඟ සුසාන බරණි තුළ තැන්පත්කර තිබූ ඒවා වේ. සුසාන බරණි අභ්‍යන්තරයෙන් ලබාගත් අඟුරු සාම්පල තුනක් ඇමරිකාවේ මියාමි හි පිහිටි බීටා ඇනලිටික් ආයතනයට යවා රේඩියෝ කාබන් කාලනීර්ණ ක‍්‍රමය අනුව කාලය නීර්ණය කරන ලදි. එම අඟුරු සාම්පල සඳහා ලැබී තිබූ කාලනීර්ණ වූයේ ක‍්‍රිස්තු පූර්ව 790 (අදින් අවුරුදු 2,790), ක‍්‍රිස්තු පූර්ව 770 (අදින් අවුරුදු 2,770) හා ක‍්‍රිස්තු වර්ෂ 50 (අදින් අවුරුදු 1967) යන කාලනීර්ණයන්ය. මේ අනුව කොක්එබේ ගල් සොහොන් කනත්ත ක‍්‍රිස්තු පූර්ව 790 සිට ක‍්‍රිස්තු වර්ෂ 50 දක්වා වූ අවම වශයෙන් අඛණ්ඩව අවුරුදු 840 භාවිත කර ඇති බව මෙම කාලනීර්ණ වලින් තහවුරු කරගත හැකි විය. එසේ ම මෙගලිතික සුසානයක් ආශ‍්‍රිත ව මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් හමු වූ පැරණිතම කාලනීර්ණය ද මෙය වන අතර මෙය අතිශයින් ම වැදගත් වන්නේ යාන්ඔය නිම්නය ආශ‍්‍රිත පූර්ව ‌ඓතිහාසික යුගයේ සංස්කෘතිය අනුරාධපුරය තරම්ම පැරණි බව මෙම දත්ත වලින් හඳුනාගත හැකි වන බැවිනි. පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් සුසාන විශාල ප‍්‍රමාණයක් මධ්‍ය යාන්ඔය නිම්නයේ ස්ථානගත වීම සඳහා ජීවනෝපාය ක‍්‍රමය (Subsystem Pattern), ලෝහ තාක්‍ෂණ ශිල්පයේ දියුණුව (Iron Technology), ජනාවාස රටාව (Settlement Pattern), බහු සම්පත් යැපුම් රටාව (Malty Resource use Pattern) බලපාන්නට ඇති බව මෙම පර්යේෂණ අනුව ද පෙන්වාදිය හැකි ය (Senaviratne 1996; 277, මැන්දිස් 2016, 151- 153).

යාන්ඔය මධ්‍ය නිම්නය තුළ ස්ථානගත වන පූර්ව ඓතිහාසික ජනාවාස එම නිම්නයේ ස්ථාවර වීම සඳහා කාලය හා අවකාශය තුළ ගොඩනැගෙන්නා වූ බහුවිධ කාරණා බලපාන්නට ඇත. විශේෂයෙන් ම දැනට අනුරාධපුර

කොක්එබේ ශිලා මංජුසා සුසානයේ කැනීම් අවස්ථාක්

දිස්ත‍්‍රික්කයේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ පැරණිතම සාධක අනුරාධපුර ඇතුළුපුරය ඇසුරින් හඳුනාගෙන ඇති අතර මෙගලිතික සුසාන ආශ‍්‍රිත ව පැරණිතම කාලනීර්ණ දැනට කොක්එබේ ප‍්‍රදේශයෙන් ලැබී තිබේ. එම නිසා කොක්එබේ ප‍්‍රදේශයේ ජනාවාස අනුරාධපුර ඇතුළුපුරයේ ජනාවාස තරම්ම පැරණි වීමට ඉඩ පවතින බව උපකල්පනය කළ හැකි බැවින් වඩාත් තර්කානුකූල ව පිළිගත හැක්කේ අනුරාධපුරයේ සිට නැගෙනහිර කළාපය දෙස ට පූර්ව ඓතිහාසික සංස්කෘතිය ප‍්‍රසාරණය වීම සිදු වූවාට වඩා සම කාලීන අවධියේ දී මෙම ප‍්‍රදේශ දෙක තුළම ජනාවාසවීම සිදු වී ඇති බව උපකල්පනය කිරීම වඩාත් සාධාරණ වන බව ය. මෙම කාරණා සැලකිල්ලට ගතහොත් පැහැදිලි වන්නේ හැඩගැසෙමින් ඇති සමාජ, ආර්ථිකය පදනම්කර ගෙන ජනරේඛනයේ ප‍්‍රසාරණය සමඟ පූර්ව ඓතිහාසික යුගයේ දී ජනතාව සාරවත් නිම්නවල වැඩි වශයෙන් මුල්බැස ගන්නට ඇති බව ය. දැනට සිදුකර ඇති පර්යේෂණවලට අනුව ක‍්‍රිස්තු පූර්ව 600-500 කාලය වන විට අනුරාධපුරය නාගරික තත්ත්වයට පත් වී ඇත (Deraniyagala 1992:711). ඒ අනුව නාගරික ජනාවාසය ලෙස අනුරාධපුරය ඉස්මතු වීමත් සමග එම ජනපදයට අවශ්‍ය ගාමක බලය සැපයීම, ඊට හාත්පස ප‍්‍රදේශවල විශේෂයෙන් මධ්‍ය යාන්ඔය නිම්නයේ පිහිටුවා ගන්නා පූර්ව ඓතිහාසික ජනපද මඟින් සිදුවීමට ඇත. මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික ජනාවාස සාර්ව ලෙස ගෙන අධ්‍යයනයකර බැලුවහොත් මේ බව මැනවින් පැහැදිලි වේ. ශ‍්‍රී ලංකාවේ ගංගා නිම්නයක් ආශ‍්‍රිත ව වැඩිම පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස හා සුසාන මධ්‍ය යාන්ඔය නිම්නය තුළ ස්ථාගත වීම තුළය.

මධ්‍ය යාන්ඔය නිම්නය තීරණාත්මක වැදගත් කමකින් යුත් සම්පත් ඇති ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශය විජයානු සංකීර්ණයට හා උස්භූමි සංකීර්ණයට අයත් අන්තර් භූ කලාපයක පිහිටා ඇත (Cooray 1984:291). ප‍්‍රදේශය පුරා හඳුනාගත හැකි ප‍්‍රධාන පස් වර්ගය රතු දුඹුරු පස (reddish brown earth) වන අතර ඊට අමතරව ඇලූවියල් පස් වලින් (Alluvial Soil) ද යුක්ත වේ. මෙ වැනි පරිසරයන් තුළ ද හැඩ ගැසෙමින් ඇති ප‍්‍රාථමික ජන සමාජයක් මුල්බැස ගැනීම සදහා ප‍්‍රධාන කාරණා කිහිපයක් බලපා තිබේ. ඒ අතර ප‍්‍රධාන වශයෙන් ම යාන්ඔය නිම්නය තුළින් හඳුනාගත හැක්කේ ග‍්‍රාමීය ජනපද පිහිටුවා ගැනීමට අවශ්‍ය කරන පාරිසරික කරුණු හා ඒ ප‍්‍රදේශයට ආසන්නත ම ස්ථානවල ඛනිජ සම්පත් වල පිහිටීම බව පෙන්වා දිය හැකි ය. මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික අවධියේ පුළුල් පරිසරය සැකසී ඇත්තේ හුදෙකලා කඳු කිහිපයකින් යුතු සරුපස සහිත පරිසර පද්ධතියක් තුළ ය. මෙ වැනි හුදෙකලා කඳු හෝ ගොඩැලි නිර්මාණය වීම නිසා එම භූමි ආශ‍්‍රිත ව සමෝඡ්ච විවිධත්වයක් (contour) නිර්මාණය වී තිබේ. එම නිසා ම මෙ වැනි පරිසර පද්ධතිය තුළ ස්වභාවික භූ පතන (hollow) නිර්මාණය වීම හඳුනාගත හැකි අතර එම භූ පතන ඊසාන දිග මෝ්සම් වර්ෂාව සක‍්‍රීය වීම සමග අහස් ජලය රැදෙන ස්ථාන බවට පත්වේ. පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාසවල ස්ථානගතවීම පිළිබද ව විමර්ශණය කිරීමේ දී මෙ වැනි භූ පතන සහිත ස්ථානවල එම ජනාවාස ස්ථානගතවී ඇති බව ඉබ්බන්කටුව, ඉදමොරළුවවැව, පොම්පරිප්පුව වාටිකා ස්ථානය යන ස්ථාන තුළින් ද හඳුනාගත හැකි බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී තිබේ (සෙනවිරත්න 1996:285., Senaviratne 1996:265-312).

මධ්‍ය යාන්ඔය නිම්නයේ පරිසර පද්ධතිය ආශ‍්‍රිත ජලයේ උපයෝගීතාව විමර්ශනය කිරීමේ දී ද සෑම පූර්ව ඓතිහාසික ස්ථානයක් ආශ‍්‍රිත ව කුඩා වැවක් වර්තමානයේ දී ද හඳුනාගත හැකි ය. ඒවා මේ වනවිට බෙහෙවින් වෙනස්වීම් වලට ලක් වී මෙම වැව් ලොකු කුඩා වී තිබෙන නමුදු පුරාණයේ මෙම වැව් ස්ථාපිත කර ඇත්තේ භූ පතන ඇසුරින් බව හඳුනාගෙන හැකි ය. ඊසාන දිග මෝසමින් මෙම ප‍්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 1,000-1,500 ප‍්‍රමාණයක් ගන්නා බැවින් මෙ වැනි කුඩා වැව් ආශ‍්‍රිත ව ජලය ගබඩාකර ගැනීමට වැඩි පහසුකමක් සැලසේ. සීම්ත කෘෂිකර්මාන්තය හා හේන් ගොවිතැන පවත්වාගෙන යනු ලැබු පූර්ව ෙළුතිහාසික මිනිසුන්ට මෙ වැනි කුඩා භූ පතන තරමක් විශාලකර අනිත් තැනු වේලි බැඳ වැවක් සකස්කර ගැනීම සදහා හැකියාව පැවතියේ ලෝහ තාක්‍ෂණය මෙම සංස්කෘතික පිරිස භාවිත කළ නිසා ය. එ මඟින් වියළි සමයන් හි මඩ ගොවිතැන සිදු කරගැනීමට පහසු වේ. යාන්ඔය නිම්නය තුළ ජීවත් වූ පූර්ව ඓතිහාසික ජනතාවට මඩ ගොවිතැනට අවශ්‍යකරන ඇලූවියල්පස් යාන්ඔය නිම්න ප‍්‍රදේශය පුරාම ව්‍යාප්ත ව පවතී (Cooray 1984:293). එසේ ම වියළි ගෙවිතැන සදහා අවශ්‍ය කරන රතු දුඹුරු පස් පුළුල් ව්‍යාප්තියකින් යුක්ත ව මෙම ප‍්‍රදේශය පුරා හඳුනාගත හැකි ය. එම නිසා මෙම භූමි ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේ දී ආකර්ෂණීය භූමියක් වීම සදහා ජලය හා පසෙහි උපයෝගීතාව සෘජු ව බලපාන්නට ඇති බව උපකල්පනය කල හැකි ය. පූර්ව ඓතිහාසික ජනයා කෘෂිකර්මාන්තයට අමතර ව පශු පාලනය සිදුකළ ජන පිරිසක් ද වේ. විශේෂයෙන් ම ගවයා කෘෂිකාර්මික කටයුතුවලට මෙන් ම කිරි හා මස් ලබා ගැනීම සදහා ඔවුන් ඇතිකිරීම සිදුකරන්නට ඇත. ආරම්භක සමයේ දී එඬේර පිරිසක් වූ මොවුන් පසුව ස්ථාවර ජනාවාස පිහිටුවා ගැනීම සමග යාන්ඔය මධ්‍ය නිම්නය තුළ පශූ පාලනය පවත්වා ගෙන යන්නට ඇති බව පැහැදිලි වන්නේ කුළු හරකුන් හීලෑ කරන ජනයා අදටත් මෙම ප‍්‍රදේශයේ ජීවත්වන බැවිනි. වර්තමානයේ ඔවුන් මරිකරුවන් ලෙස හදුන්වනු අතර මරිකරුවා වනය තුළ වසන හීලෑ නොවූ මී ගවයින් සම්ප‍්‍රදායික ක‍්‍රමවේද භාවිත කර අල්ලා හීලෑ කර තම කෘෂි කටයුතු හා කිරි ලබා ගැනීම සදහා යොදා ගැනීම අදටත් සිදු කරනු ලැබේ. වර්තමාන යාන්ඔය නිම්න තුළ මී හරක් පට්ටි වශයෙන් ඇති කරන ජනතාව තවමත් ජීවත්වන බැවින් මේ තත්ත්වය මැනවින් පැහැදිලි වේ. විශේෂයෙන් ම එඩේර කටයුතු සිදු කිරීමේ දී අධික වර්ෂාව සහිත පරිසරය ඒ සඳහා නොගැලපේ. යාන්ඔය නිම්නයේ ඇති ස්වභාවික ජලය රැදෙන ස්ථාන හදුන්වනු ලබන්නේ එබ වශයෙනි කොක්එබේ ද මෙ වැනි එබක් හදුනාගත හැකි ය. වර්ෂය පූරාම ජලය නොසිදෙන මෙ වැනි එබ ගංගාවට ඉහළ සම සමෝඡ්ච රේඛාවක මින්සුන් නිර්මාණය කරනු ලැබූ නිර්මාණයක් වන අතර එය පුර්ව ඓතිහාසික යුගය දක්වා ඈතට ගමන් කරන බව පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනු ලැබේ. මෙ වැනි අවට ගවයින් ඇතුළු තෘණ වර්ග ආහාරයට ගනු ලබන සතුන්ට අනගි තෘණ භූමී නිර්මාණය වී තිබෙන අතර අතීතයේ ද මෙ වැනි භූමි එම කටයුතු සදහා වැදගත් වන්නට ඇත (මැන්දිස් 2006:330-333). ඒ අනුව මධ්‍ය යාන්ඔය නිම්නය තුළ පූර්ව ‌ඓතිහාසික ජනාවාස පිහිටුවීමේ දී කෘෂි, වාරි හා ඒෙඩිර කටයුතු සදහා යෝග්‍ය පරිසර පද්ධතිය අතිශයින් ම වැදගත් වී ඇති බව පෙන්වාදිය හැකි ය.

මධ්‍ය යාන්ඔය නිම්නයේ පූර්ව ෙළුතිහාසික ජනාවාස රටාව අධ්‍යයනයේ දී එම ජනපද එම භූමයේ ස්ථාන ගතවීම උදෙසා ඛණිජ සම්පත්වල පිහිටීම ද බලපා ඇති බව පෙන්වාදිය හැකි ය. ඒ අතරින් ලෝහ සම්පත් යාන්ඔයට ඉතා ආසන්න ප‍්‍රදේශවල ස්ථානගත වී තිබේ. යකඩ හා තඹ යන ඛණිජ සම්පත් ශ‍්‍රී ලංකාවේ භාවිතය ආරම්භ වන්නේ පූර්ව ඓතිහාසික අවධියේ දී බව සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී ඇත. යාන්ඔය මධ්‍ය නිම්නයට ආසන්න ව නිධිගත වී ඇති ඛනිජයක් ලෙස තඹ ලෝහය සේරුවිල ප‍්‍රදේශයේ දී හමු වේ. 1971 වර්ෂයේ ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව සේරුවිල සිදු කර ඇති භූ විද්‍යා අධ්‍යනයන්ට අනුව මැග්නටයිට් තඹ (Copper Magnetite) සේරුවිල නිධිගතවී ඇතිබව හඳුනාගෙන තිබේ (Senaviratne 1995:116). මීට පෙර බි‍්‍රතාන්‍ය ජාතික ‌ඩේවි (Davy) විසින් ද මැග්නටයිට් යපස් සේරුවිල පවතින බව ද හඳුනාගෙන තිබේ. පී.ජී. කුරේ පෙන්වා දෙන ආකාරයට මෙම මැග්නටයිට් තඹ නිධිය සම්භවය ලබා ඇත්තේ නැගෙනහිර විජයානු සංකීර්ණය හා උස්්භූමි සංකීර්ණයට අයත් අන්තර් භූ කලාපයේ ය (Cooray 1984:212). සේරුවිල භූමි ප‍්‍රදේශයේ දී මතුපිටට ප‍්‍රවිෂ්ට වී ඇති මෙම ධනවත් ඛණිජ තීරය සැතපුම් 250ක් දිගින් යුක්ත ව සේරුවිල සිට හම්බන්තොට දක්වා ම ව්‍යාප්ත වේ (ibid). මෙම ධනවත් ඛණිජ නිධිය තුළ මැග්නටයිටි, රීදි, බිස්මත්, සින්ක්, මයිකා, ත්‍රෝමියම්, නිකල් යන ඛණිජ ද්‍රව්‍යය ද ගැඹුරු කොටස් වල රත‍්‍රත‍්‍රං ද පිහිටා ඇත (Senaviratne 1995:116). සේරුවිල ප‍්‍රදේශයේ දී මතුපිටට ප‍්‍රවිෂ්ට ව ඇති මැග්නටයිටි තඹ ටොන් මිලියන 7ක් එම භූමියේ මතුපිට මටිටමේ සිට අඩි 200ක් පොළව අභ්‍යන්තරයට විහිදෙන බව ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පර්යේෂණ වලින් තහවුරු කර තිබේ (ibid:117).

ලෝහ මුල් යකඩ යුගයේ ජනතාවගේ ජීවන පැවැත්මට අදාළ සම්පත් පරිහරණ රටාවේ මූලික අංගයක් වී ඇත. මේ නිසා ම යාන්ඔය නිම්නයෙන් නැගෙනහිර සීමාව තුළ එනම් කදිරවේලි හා මහින්දපුර ප‍්‍රදේශයේ සිට මුල් යකඩ යුගයේ ජනාවාස ස්ථානගත වීම ද සිදු වී ඇත්තේ් ඉහත කාරණය මුල්කරගෙනය (තන්තිලගේ සහ තවත් අය 2016:1-9). පූර්ව ඓතිහාසික අවධියේ දී සේරුවිල ලෝහ නිධියේ යපස් පරිහරණය සිදු වී ඇති බව පර්යේෂණ තුළින් තහවුරු කර ඇත. අනුරාධපුර ඇතුළුපුර පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස ස්තරවලින් හමු වී ඇති ලෝහ අමුද්‍රව්‍ය හා ලෝහ මෙවලම් ආශ‍්‍රිත ව සිදු කර ඇති රසායනික හා සුක්‍ෂම මුලද්‍රව්‍ය විශ්ලේෂණයට අනුව එම මෙවලම් නිර්මාණයට භාවිත කර ඇති ලෝහ ඉතා ම සමීප වන්‌නේ සේරුවිල ලෝහ නිධියේ ලෝහ පස් වලට බව හඳුනාගෙන තිබේ (Senaviratne 1995:116-120). මීට අමතර ව ගුරුගල්හින්න, දිවුල්වැව, වඩිගවැව, කොක්එබේ, කදිරවේලි යන මධ්‍ය යාන්ඔය සුසාන ස්ථානවල කැනීම් සිදු කර ඇති රාජා ද සිල්වා එම ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ වලින් නිර්මිත පුරාවස්තු හමු වූ බව ප‍්‍රකාශ කර ඇත (Senaviratne 1984:248-257). මේ පිළිබද ව වැඩිදුර අධ්‍යයනය කර ඇති අර්ජුන තන්තිලගේ ප‍්‍රකාශ කර ඇත්තේ මේවා තඹ ද ලෝකඩ ද යන්න නිශ්චිත ලෙස රාජා ද සිල්වා ප‍්‍රකාශයට පත්කර නොමැති බව ය (Thanthilage 2008.202). මේ අතරින් ගුරුගල්හින්න ආශ‍්‍රිත ව තඔ උපකරණ ලැබී ඇති බව රාජා ද සිල්වා 1970 වර්ෂයේ වාර්තා කර ඇති බව සුදර්ශන් සෙනවිරත්න ද පෙන්වා දෙයි (Senaviratne 1984:248). එසේ ම වඩිගවැව ශිලා මංජුසා සුසානයක් ආශ‍්‍රිත ව යකඩ වාර්තා වී ඇති බව එස්.කේ. සිත‍්‍රපලම් පෙන්වා දී ඇත (Sithrampalam 1982 in Senaviratne 1984:248). අර්ජුන තන්තිලගේ පෙන්වා දී ඇති ආකාරයට ගුරුගල්හින්න ආශ‍්‍රිත ව වාර්තා වී ඇති ලෝහ මෙවලම් අතර තඹවලින් පමණක් නිර්මාණය කරන ලද ඒවා හමු වී තිබේ. එසේ ම කොක්එබේ, වඩිගවැව, දිවුල්වැව, යන ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ යන මාධ්‍ය දෙකෙන් ම නිර්මිත උපකරණ හමු වී තිබේ (Thanthilage 2008:202-203).

කොක්එබේ ශිලා පෙළ සුසානයේ කැනීම් අවස්ථා

තම්මැන්නාගොඩැල්ල ආශ‍්‍රිත සුසාන 2013 වර්ෂයේ කැනීම් කරන ලද රංජිත් දිසානායක එම සුසාන තුළ තැන්පත් කර තිබු රන් පබළු, යකඩ වලින් නිර්මිත වළලූ කරාඔු, ඊතල හා කෘෂි උපකරණ ද තඹ වලින් කරනු ලැබු ඇස් අලංකරණයට භාවිත කරන අංජන කූරූ හා වළලූ ද හමු වූ බව ප‍්‍රකාශ කර ඇත (මනමේන්ද්‍රආරච්චි සහ අදිකාරි 2014:216-217). ඒ අනුව ක‍්‍රිස්තු පුර්ව 800 පමණ කාලය වන විට මධ්‍ය යාන්ඔය නිම්නය තුළ යකඩ හා තඹ කර්මාන්තය මෙන් ම රන් කර්මාන්තය ට අදාළ තොරතුරු ලැබීම ඉතා ම වැදගත් වේ. මෙම කාල පරාසය හා අනුරාධපුර ඇතුළුපුර තඹ අමුද්‍රව්‍ය උණු කිරීමට අදාළ ව ලෝහ සම්බන්ධ ව ලැබෙන තොරතුරු 3A ස්තරයෙන් වාර්තාවන අතර විකිරණමාණ දින නියම කිරීම් වලට අනූව එම ස්තරය කි‍්‍රස්තු පූර්ව 600-500 කාලයට අයත් වන බව පෙනේ (Deraniyagala 1972:145, Senaviratne 1995:123). ඒ අනුව සම කාලීන අවකාශයනක් තුළ මෙම තාක්ෂණය මධ්‍ය යාන්ඔය නිම්නයේ මෙන් ම අනුරාධපුර ඇතුළුපුරයේ ද භාවිත වී ඇති ආකාරය මේ අනුව පෙන්වා දිය හැකි අතර මධ්‍ය යාන්ඔය නිම්නය තීරණාත්මක ලෙස වැදගත් වී ඇති අකාරය ද පැහැදිලි වේ.

මධ්‍ය යාන්ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය ඇසුරින් හදුනාගත හැක්කේ මෙගලිතික සොහොන් සංකීර්ණයන් රාශියක් පමණි. විශේෂයෙන් එම සෙහොන් සංකීර්ණවල වපසරිය පිළිබද විමර්ශනය කිරීමේ දී ඒ හා සබැදී ජනාවාස එම ප‍්‍රදේශය ඇසුරින් තිිබිය යුතු ය. සෑම සුසානයක් ආශ‍්‍රයෙන් ම කුඩා පරිමාණයේ වැවක් දක්නට ලැබෙන අතර වර්ෂාකාලයේ දී මෙම වැව් පිරී ඉතිරී සුසාන සංකීර්ණ යටවන අතර එ මඟින් පැහැදිලි වන්නේ එම වැව් පසු කාලයේ දී විශාල කිරීම්වලට හෝ වෙනස් කිරීම්වලට ලක් වී ඇති බව යි. එසේ ම ජනාවාස ආශ‍්‍රිත තොරතුරු මේ වන විට නිශ්චිතව තහවුරු වී නොමැත්තේ එම ප‍්‍රදේශ තුළ කෘෂි බිම් සකස් කිරීම් හා වැව් ඉදිකිරීම මෙන් ම නව ජනපද ස්ථානගතවීම නිසායැයි උපකල්පනය කල හැකි ය. මධ්‍ය යාන්ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ‍්‍රිත ව ලැබී ඇති කාලනීර්ණ අනුව මධ්‍ය යාන්ඔය නිම්නයේ දියුණු මානව ජනාවාසකරණය බුදුන් වහන්සේ ලොව පහළවීමට සියවස් දෙකහමාරකට පෙර සිදු වී ඇති බව මෙම පර්යේෂණය අනුව පෙන්වා දිය හැකි අතර මෙම ප‍්‍රදේශයේ මානව ජනාවාසකරණය අනුරාධපුර පූර්ව ඓතිහාසික සංස්කෘතියට සම කාලීනව සිදු වීමට බොහෝ ඉඩ පවතින බව මෙම තොරතුරු වලින් තහවුරු වේ.

මින් අනතුරුව මධ්‍ය යාන්ඔය නිම්නයේ ස්ථානගතවන සංස්කෘතිය වන්නේ මුල් ඓතිහාසික (Early History) සංස්කෘතිය වේ. බ‍්‍රහ්මණයාගම, නැට්ටුක්කන්ද, හඳගල, රස්නක වැව, කෙක්එබේ, විහාර හල්මිල්ලෑවල බෙරවාගම, වලස්කුණු වැව, අලියාකඩ ආදී ස්ථාන ගණනාවක මෙම කාල පරාසයට අයක් මුල් බ‍්‍රහ්මී අභිලේඛන හමුවන අතර එම අභිලේඛන ගමික, පරුමක, ගපති, බත, ආදී ජන පිරිස් විසින් පිහිටුවා ඇති අතර ඒවා තළින් ද ලෝහ කර්මාන්තයට අයත් තොරතුරු කබර (යකඩකරු) හා තඔකරුවන් පිළිබඳ ව තොරතුරු සඳහන් වේ  (Ic.vol. i:9-14). එබැවින් මධ්‍ය යාන්ඔය නිම්නය ප‍්‍රාග්, පූර්ව හා ම්ල් ඓතිහාසික යුගයන්හි දි මානව ජනාවාසකරණය සඳහා අතිශයින්ම වැදගත් භූමියක් වන බව පෙන්වාදිය හැකි ය.

කොක්එබේ මැටි බඳුන් වර්ග (ආකෘති) හා තිස්සමහාරාම මැටි බඳුන් ආශ‍්‍රිත සාපේක්‍ෂ කාලනිර්ණය

කොක්එබේ මෙගලිතික සුසානයෙන් හමුවන මැටි බඳුන් ක‍්‍රිස්තු පූර්ව 800 තරම් කාලයක් පැරණි වන බව කාබන් කාලනීර්ණ වලින් පැහැදිලි වුව ද ඒවා සාපේක්‍ෂ ලෙස තිස්සමහාරාම මැටි බඳුන් වර්ගීකරණය හා සැසදීම වැඩි දුරටත් සිඳු කරනු ලැබූවේ කොක්එබේ මැටි බඳුන් හැඩ බොහොමයක්ම තිස්සමහාරාම බඳුන් ආකෘති වර්ග හා උප වර්ග සමඟ ගැලපෙන බැවිනි. මෙම සංසන්දනාත්මක අධ්‍යයනයේ දී ආකෘති සැසඳීම යටතේ ආකෘතිය (Form) බඳුන් වර්ගය (Type) අවධිය (Phase) හා එම වර්ගවලට අදාළ කාල පර්ච්ජේදය (Time Period) හඳුනාගැනීමට දත්ත වගුගත කිරීම කරන ලදි. ඒ අනුව මෙම ස්ථාන දෙකෙහි දක්නට ලැබෙන මැටි බඳුන්වල භෞතික සාධක අනුව තිස්සමහාරාම වර්ගීකරණ හා කොක්එබේ මැටි බඳුන් සැසඳීමේ දී තිස්සමහාරාම බඳුන් ක‍්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ සිට ක‍්‍රිස්තු වර්ෂ 7 වැනි සියවස දක්වා කාලයට අයත්විය හැකි බව සාපේක්‍ෂව නිගමනය කල හැකි ය. ඒ බව පහත සඳහන් වගුව තුළින් හඳුනාගත හැකි අතර ස්ථාන දෙකෙහි මැටි බඳුන් හැඩයෙන් සමාන වුව ද කොක්එබේ මැටි බඳුන් වඩා පැරණි වන බව මෙම සංසන්දනාත්මක අධ්‍යයනය අනුව පෙන්වාදිය හැකි ය.

ආකෘතිය මැටි බඳුනේ විස්තරය විස්තරය
A හැළිය හෝ මුට්ටිය – මෙම භාජනයේ බඳ ඉහළ කොටස ඇතුළට නැමී විහිදුනු ගැටිය සහිත බඳුන් Haliya or Muttiya – Pot With Restricted and Inverted Upper Body With Everted and Flared Rim Zone
B ඇතිළිය හෝ හැළිය – මුව විට පළල වැඩි ගෝලාකාර බඳුන් Attiliya or Halliya – Large Bowl With Wide Orifice
C හැළිය – ත‍්‍රිකෝණාකාර ඝණකම් ගැටිය සහිත ගෝලාකාර ගැඹුරු බදුන් Deep Globular Bowl With Restricted Upper Body and Mostly Triangular Thickened Rim Halliya
D බරණිය – මුට්ටිය – ප‍්‍රමාණයෙන් කුඩා ගෝලාකාර පටු කෙටි ගෙල සහිත ගබඩාකරන බඳුන් හෝ ජල බරණි Barani/Muttiya – Small Storage or Water Jug With Narrow and Short Neck and Globular Body
E බරණිය – ඝණකම් බඳ සහිත ගෙල රහිත විශාල ප‍්‍රමාණයේ ගබඩාකරන බඳුන් Baraniya – Huge Storage Vessel With Thick Walls and no Neck
F කොතලයරැුකෙණ්ඩිය/කළය – කවාකාර බඳ සහිත මුව විට පළල අඩු උස් පුනීලාකාර ගෙල සහිත කුඩා ප‍්‍රමාණයේ ජෝගු Small Jug With Mostly lenticular Built Body a Narrow Orifice and High and Funnel Shaped Neck
G පාත‍්‍රය – කවාකාර බඳ සහිත ගෙල හා ගැටිය රහිත පළල ගෝලාකාර බඳුන් Pattaraya – Begging Bowl With Narrow Neck and Globular Body
H නෑඹිලිය කොරහ මැටිකෝප්පය තැටිය – කෝණාකාර බඳ සහිත දීසි Conical Dish
K මූඩිය – ඝණකම් බඳ සහ ගෙල රහිත පළල ගෝලාකාර බඳුන් Lid/Lid-cum-bowle

වගු අංක 1 : බඳුන් ආකෘති විස්තරය

 

Index No
අනු අංකය
Site Code
ස්ථාන කේත නාමය
Form
බදුන් ආකෘති කේත නාමය
Kokebe කොක් එබේ අංකය

තිස්සමහාරාම බදුන් ආකෘති සැසදීම

Form
ආකෘතිය
Type
වර්ගය 
Phase
අවධිය
Time Period
කාල පරිච්ජේදය
1 Ko A C21-4 A 11b C2 1st  BC
2 Ko A C21-10 A 8a C1 2nd BC
3 Ko A C35-1 A 8b b 3rd BC
4 Ko A C35-4 A 11b C2 1th BC
5 Ko A A 3a a 3rd/4th BC
6 Ko B C21-19 B 1b b/c1 3rd/2th BC
7 Ko B C21-2 B 1b b/c1 3rd/2th BC
8 Ko B C31-3 B 2b c2 1th BC
9 Ko B C31-2 B 4b d 1st/2nd AD
10 Ko D C1-2 D d6 e 2nd/3rd AD
11 Ko D C21-9 D d3 c2/d 1st BC/1st, 2nd AD
12 Ko D C34-2 D d3 c2/d 2nd BC/1st, 2nd AD
13 Ko D C21-1 D d2b a 3rd/4th BC
14 Ko D D d3 d 1st/2nd AD
15 Ko D C31-1 D d6 e 2nd/3rd AD
16 Ko D C21-18 D d2 c1/c2 2nd BC/1st BC
17 Ko D C21-6 D d2 c1/c2 3rd BC/1st BC
18 Ko D D d3 c2/d 1st BC/1st AD
19 Ko E C21-7 E e1 a/b 3rd/4th BC
20 Ko E C1-1 E e1 a/b 3rd/4th BC
21 Ko F C21-5 F 8a d 1st,2nd AD
22 Ko F C21-13 F 8a d 1st,2nd AD
23 Ko G C31-4 G 8 c1 2nd BC
24 Ko G C37-1 G 2 a 3rd/4th BC
25 Ko G C35-3 G 7 b 3rd BC
26 Ko G C4-6 G 7 b 3rd BC
27 Ko H C3-7 H I6 f 300-450 AD
28 Ko H C3-1 H G20 g 450-7th AD
29 Ko H C1-5 H H c2 1st BC
30 Ko H C4-3 H H11 g 450-1st AD
31 Ko H C4-2 H Ia d 1ST/2nd AD
32 Ko I C40-1 I I1 a 3rd/4th BC
33 Ko I C35-5 I I1 a 3rd/4th BC
34 Ko I C4-8 I I1 a 3rd/4th BC
35 Ko I C31-5 I J a 3rd/4th BC

වගු අංක 2 : සාපේක්ෂ කාල නිර්ණය

F මැටි බඳුන් ආකෘතිය
H මැටි බඳුන් ආකෘතිය

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • මනමේන්ද්‍ර ආරච්චි සහ ගාමිණී අදිකාරි (2014), අනුරාධපුර පුරා ජෛව විවිධත්වය හා වර්තමාන ජෛව විවිධත්වය, ජෛව විවිධත්ව ලේඛම් කාර්යාලය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, කොළඔ.
  • මැන්දිස්, ඩී.ටී. (2016), මධ්‍ය යාන්ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව. 151-153, The Proceeding of Second Archaeology Research Symposium, Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihinthale.
  • සෙනෙවිරත්න, සුදර්ශන් (1996), උත්තර මලය රට්ඨයේ ප‍්‍රාථමික යකඩ යුගයේ ඛනිජ සම්පත් පරිහරණයේ ඓතිහාසික පුරාවිද්‍යාව, ඓතිහාසික මහනුවර, මහනුවර, ශ‍්‍රී සුමංගල විද්‍යාලයීය බෞද්ධ සංගමය:184-199.
    1996 ., පර්යන්ත ප‍්‍රදේශය හා ආන්තික ප‍්‍රජාවෝ, ශ‍්‍රී ලංකාවේ මුල් අයස් සමයේ ද්‍රව්‍ය හා සමාජ සැදුම් පිලිබඳ විකල්ප තේරුම් කිරීමක් කරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.
  • Cooray, P.G. (1984), An Introduction to the Geology of Sri Lanka (Ceylon), Colombo, National Museums of Sri Lanka.
  • Deraniyagala,S.U.(1972), The Citadel of Anuadhapura: Excavation in the Gedige area, Ancient Ceylon no.02, 48-165, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala,S.U. (1992), The Prehistory of Sri Lanka, An Ecological Perspective, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala, S.U. & M. Abeyratne (1997), Rediocarbon Chronology of Anuradhapura,Sri Lanka:A Revised Age Estimate,  South Asian Archaeology, vol.ii Stituto Italiano Per Africa Luriente, 2000.
  • Nicholas, C.W. (1963), Historycal Topography of Ancient and Medival Sri Lanka, (special No. JRASCB,NS,Vol. vi.)
  • Paranavitane, S. (1970), Inscription of Ceylon, Vol I , Department of Archaeology. Colombo.
  • Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No.5: 237-305, Archaeological Survey Department, Colombo.
  • Seneviratne, S. (1995), The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North- East Sri Lanka In Sri Lanka Journal of Humanities. Vol xxi (1&2):114-146
  • Seneviratne, S. (1996), Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and social Organization in Sri Lanka Tradition Dissent and        Ideology : Essay in Honor of Romila Thapar, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press. Delhi: 265-312
  • Seneviratne, S. (2007), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, The Art and Archaeology of Sri Lanka. 135-202, Central Cultural Fund, Ministry of Cultural Affairs, Colombo.
  • Thanthilage, A. (2007), An Archaeo-Metallurgical Investigation of Sri Lankan Historical Bronzes, Unpublished PhD Thesis.
-------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.09.07 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

මුන්දෙනි ආරු නිම්න‌යේ පුරාණ ජනාවාස රටාව හා සංස්කෘතික භූ දර්ශනය

බුද්ධික ධනංජය රණසිංහ

මධ්‍යම සංස්කෘතික අරමුදල, ගම්පහ ව්‍යාපෘතිය.

ප‍්‍රවේශය

බුද්ධික ධනංජය රණසිංහ

ප‍්‍රමාණාත්මකව සුළු වශයෙන් සිදු කර ඇති පුරාවිද්‍යා ගවේෂණ, කැනීම් හා විවිධ පුරාවිද්‍යා අධ්‍යයනයන් මඟින් ‘මුන්දෙනි ආරු නිම්නය’ හා තදාශ‍්‍රිත ප‍්‍රදේශයේ ගොඩනැගී තිබු පුරාණ මානව ජනාවාසකරණයට අදාල තොරතුරු අල්ප වශයෙන් වේ. එමෙන්ම මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ව කාලය හා අවකාශය තුළ සිදු වූ තාක්ෂණික සංස්කෘතික (Technoculture) පරිවර්තනයන් ඔස්සේ යථොක්ත නිම්න ප‍්‍රදේශයේ සිදු වූ පුරාණ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳ ව විධිමත් අධ්‍යනයක් මෙතෙක් සිදු වී නොමැත. එම නිසා මෙම අධ්‍යයනය තුළින් මුන්දෙනි ආරු නිම්නයේ මිනිසා හා පරිසරය අතර සිදු වූ අනෝන්‍යය සහසම්බන්ධය ඔස්සේ තාක්ෂණික සංස්කෘතික පරිවර්තනයන් සිදු වූ ආකාරය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සිදු වේ.

සංස්කෘතික භූ දර්ශනය අධ්‍යනය කිරීමේ දී මිනිසා හා පරිසරය අතර ඇති වන්නා වූ සම්බන්ධතාව අධ්‍යයනය කිරීම සිදු කළ යුතු ය. මුන්දෙනි ආරු නිම්නයේ ජීවත් වූ මිනිසා තම පරිසරය හා සබඳතා ගොඩනඟාගත් ආකාරය මෙහිදි අධ්‍යයනය කරයි. එ මෙන්ම යථෝක්ත නිම්නයේ එක් එක් තාක්ෂණික අවධිවල දී (Techno cultural Period) මිනිසා හා ස්වභාවික පරිසරය ඇති වූ අනෝන්‍ය ක‍්‍රියාවලිය භෞතික සංස්කෘතික තොරතුරු ඇසුරෙන් අධ්‍යයනය කර ඒ ඔස්සේ සම්පත් පරිහරණය හා ජනාවාස රටාව අධ්‍යයනය කීරීමෙන් දේශපාලන, ආගමික, ආර්ථික හා සමාජ යන අංගයන් ගොඩනැඟීමට බලපාන අයුරු විමසා බැලීම මෙම අධ්‍යයනයෙන් සිදු කළ හැකි ය.

ක‍්‍රමවේදය

මෙම අධ්‍යයනය සඳහා ප‍්‍රධාන වශයෙන් ක‍්‍රමවේද කිහිපයක් භාවිත කරන ලදි. මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සංස්කෘතික පරිවර්තන ක‍්‍රියාවලිය හඳුනා ගැනීමට මෙතෙක් රචිත පර්යේෂණයන් අධ්‍යයනයට පුස්තකාල ගවේෂණය සිදුකරන ලදි. මුන්දෙනි ආරු නිම්නයේ පිහිටි වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය කේන්දා කරමින් ඉන් උතුරට පිහිටි භූමියේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් භෞතික සාධක අධ්‍යනය කිරීම සඳහා කේෂ්ත‍්‍ර ගවේෂණ කටයුතු සිදු කිරීම හා නිර්මිත පරිසරය අධ්‍යයනය කර දත්ත එක්රැස් කිරීම ක‍්‍රමවේදය ලෙස භාවිත කරන ලදි.

පූර්ව පර්යේෂණ

මුන්දෙනි ආරු නිම්නයේ මානව ජනාවාසකරණය පිළිබඳව තතු විමර්ශනය කිරීම සඳහා පර්යේෂණ ආරම්භ වනුයේ මීට ශත වර්ෂයක ට කිහිපකට පෙර සිටය. ක‍්‍රිස්තු වර්ෂ 1872 වර්ෂයේ ස්විස් ජාතික මානව විද්‍යාඥයින් දෙදෙනෙකු වන පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබඳ පර්යේෂණ කිරීමට දිවයිනට පැමිණියහ. ඔවුන්ගේ අධ්‍යයනයන් මූලික වශයෙන් යථෝක්ත නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ සිදු කෙරී ඇත (මනතුංග 1996:24). ඔවුන් නැගෙනහිර පළාතේ ගල්ලෙන් කිහිපයක් කැනීම් කර ශිලා මෙවලම් කිහිපයක් සොයා ගත්ත ද ඒවා පිළිබඳ නිසි අවබෝධයක් එවක ඔවුන් සතු නොවීය. එහෙත් 1903 දී සෙලිබීස් දුපත් වල ඔවුන් කළ කැනීමක දී ලැබුණු සාධක අනුව මෙරටින් තමන් සොයා ගත්තේ ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් බව ඔවුන් තේරුම් ගත්හ (මනතුංග 1996:24). ඔවුන් දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කරගෙන එම අවශේෂ ස්විසර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයක තැන්පත් කර ඇත. ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කර ගත් ස්ථාන නාමාවලියක් ඉදිරිපත් කර ඇති අතර එහි කල්අඩි නමින් හැඳින්වෙන ස්ථානයකින් ලබාගත් ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ පිළිබඳ වර්තා කර ඇති අතර එම ස්ථානය වර්තමාන නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් ස්ථානයකි. විශේෂයෙන් පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීමට භාජනය කිරීමේ දී මුන්දෙනි ආරු නිම්නයේ වැදි ජනතාව විසු ගුහා භාවිත කරන්නට ඇත.

1968 සිට 1988 දක්වා දශක දෙකක කාලයක් මෙරට ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිරාන් දැරණියගල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. සිරාන් දැරණියගල සහ ඩබ්ලිව්.ජී. සෝල්හයිම් විසින් මුලතිව් සිට කුමන දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කළේ ය. මේ ගවේෂණයෙන් ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන 4ක් හමු වී ඇති අතර එම ස්ථාන අතරින් ස්ථාන 3ක් මුන්දෙනි ආරු නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ ඕකන්ද හා කුමන අතර රතු වැලි නිධි ආශ‍්‍රිතව හමු වී ඇත(මනතුංග 1996:30). සෙනරත් පරණවිතාන විසින් සිදු කර ඇති ශිලා‌ෙලේඛන අධ්‍යයනය අනුව මුන්දෙනි ආරු නිම්නයේ පුරා සමාජ රටාව මුල් ඓතිහාසික අවධියේ ක‍්‍රියාත්මක වී තිබෙන ආකාරය අධ්‍යයනය කර තිබේ. විශේෂයෙන් පූර්ව බ‍්‍රාහ්මි අභිලේඛන වල සඳහන් විවිධ පදවි නාම සහිත ජන කණ්ඩායම් ප‍්‍රදේශය පුරා සිදු කරනු ලැබු දේශපාලන, ආර්ථික, ආගමික හා සමාජ ක‍්‍රියාවලිය හඳුනා ගැනීමට පරණවිතාන සිදුකර ඇති අධ්‍යයනයන් බෙහෙවින් උපකාරි වේ. මහාවංසය, පූජාවලිය හා ථූපවංශයෙහි සඳහන් ඇතැම් ඓතිහාසික කරුණු සනාථ කර ගැනීමට මෙම අධ්‍යයනයන් වැදගත් වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ රාජා ද සිල්වා විසින් කදිරවේලි සුසාන භූමිය ආශ‍්‍රිතව කැනීම් සිදු කොට එම ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ වලින් නිර්මිත පුරාවස්තු හමු වූ බව ප‍්‍රකාශ කර තිබේ. කදිරවේලි සුසාන භූමිය මුන්දෙනි ආරු මුහුදට පිවිසෙන මෝය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පිහිටා තිබීම නිසා රාජා ද සිල්වා සිදු කළ පර්යේෂණ මෙම අධ්‍යනය සඳහා වැදගත් වේ (Senevirathna 1984:248-57). මුන්දෙනි ආරු නිම්නය ආශි‍්‍රත ව විවිධ විද්වතුන් සිදු කර ඇති වාර්තාවන් අතර 2003, 2008, 2013 යන වර්ෂවල නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ එල්ලාවල ‌මෙධානන්ද හිමියන්ගේ වර්තාගත කිරීම් වැදගත් වේ. එම වාර්තාවන්වල යථෝක්ත නිම්නයේ පිහිටි අභිලේඛන පිළිබඳ වාර්තා කර තිබේ. මෙම නිම්නයේ මුල් ඓතිහාසික යුගයෙන් මෙපිටට සිදු වූ ජනාවාසකරණයේ ස්වරූපයේ ස්වභාවය අධ්‍යයනය කිරීමට මෙම වාර්තා උපකාරි වේ (මේධානන්ද හිමි, 2013:212). චන්දන රෝහන විතානාච්චි විසින් මුන්දෙනි නිම්නය ආශ‍්‍රිත ව ඇති පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ ව වාර්තාගත කිරීමක් 2005 වර්ෂයේ දී සිදු කර ඇත (විතානාච්චි 2005:14-30). මුන්දෙනි ආරු නිම්නයේ පිහිටි මූල ඓතිහාසික ස්ථානයක් වන කදිරවේලි පිළිබඳ ව වර්තාගත කර තිබේ.

තාක්ෂණික සංස්කෘතික අවධි පරිවර්තන රටාව මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිතව හඳුනාගැනීම පිළිබඳ අධ්‍යයනය

මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත කලාපයේ පරිසරය සැකසි ඇත්තේ ශේෂ කඳු පන්තියකින් වට වී ඇති තැනි භූමි පරිසරයක් තුළ ය. එහි ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය මුන්දෙනි ආරු නිම්නය වන අතර මුල් ඓතිහාසික යුගයේ හා ඉන් මෙපිටට ජලය රැස්කර ගැනීමට තැනු කුඩා වැව් පද්ධතියක් දක්නට ලැබේ. මෙම යථෝක්ත ප‍්‍රදේශයේ අතහැර දමන ලද වැව් පද්ධතියක් ආකාරයෙන් ක‍්‍රියාත්මක වන්නට ඉඩ ඇති බව පෙන්වා දිය හැකි ය.

මුන්දෙනි ආරු නිම්නයේ වසර 30ක පමණ කාලයක් පුරා පැවති ශ‍්‍රී ලංකාවේ යුද්ධය නිසා එම භූමිය ආශ‍්‍රිතව භූ දර්ශනය නිර්මාණය සඳහා මානව ක‍්‍රියාකාරිත්වයේ දායකත්වය හඳුනා ගැනීමේ දී බාධාවක් වේ. එසේ වුවත් 1968 සිට 1988 දක්වා දශක දෙකක කාලයක් මෙරට ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිරාන් දැරණියගල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. සිරාන් දැරණියගල සහ ඩබ්ලිව්. ජී. සෝල්හයිම් විසින් මුලතිව් සිට කුමන දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කළේ ය. මේ ගවේෂණයෙන් ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන 4ක් හමු වී ඇති අතර එම ස්ථාන අතරින් ස්ථාන 3ක් මුන්දෙනි ආරු නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ ඕකන්ද හා කුමන අතර රතු වැලි නිධි ආශ‍්‍රිතව හමු වී ඇත(මනතුංග 1996:30).

ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මානව වාසස්ථාන මුන්දෙනි ආරු නිම්නයේ ක‍්‍රියාත්මක වීමට නම් එහි ස්වභාවික පරිසරයේ පිහිටීම ද අතිශයින් වැදගත් විය යුතු ය. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කාලය හරහා සිදු වී ඇති වෙනස්කම් ඔස්සේ මුන්දෙනි ආරු නිම්නයේ භූ සැකැස්ම නිර්මාණය වී ඇත්තේ ස්වභාවික ජලධාරා, භූ පතන හා ශේෂ කදු රාශියක් ඇසුරිනි. ගල්ඔය ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ වන මුන්දෙනි ආරු නිම්නය මඩකලපුව ප‍්‍රදේශයෙන් මුහුදට වැටේ. අම්පාර දිස්ත‍්‍රික්කය හරහා ගලා යන ගල්ඔය, එක්ගල්ඔය හැරුණු විට ඇති ප‍්‍රධානම ගංගාව වන්නේ මුන්දෙනි ආරුයි. ඊසාන දිග මෝසම් සුළඟින් වර්ෂාව ලැබෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා අධික ජලවහනයක් මුන්දෙනි ආරු ඔයේ සිදුවන අතර වර්ෂයේ වැඩි කාලයක් ජලය නොමැති වියළි තත්ත්වයේ මෙම ඔය පවති (Deraniyagala 1992:494).

මුන්දෙනි ආරු නිම්නයේ පරිසරය ගත් කල විජයානු ශ්‍රේණිය (Vijayan Series) කොණ්ඩලයිට් ශ්‍රේණිය (Viondalite series) යන ශ්‍රේණි දෙක නියෝජනය කරන පාෂාණ පවතින අයුරු හඳුනාගත හැකි ය. එහි උප කාණ්ඩ ලෙස පෙග්මටයිට් හා මිග්මටයිට් සමඟ පවතින හොන්ට්ලේන්ඞ් තයිස්, බයොටයිඞ් නයිස් හා හොන්ට්ලේන්ඞ් බයොටයිට් නයිස් පාෂාණ, හොන්ට්ලේන්ඞ් බයෝටයිට් නයිස්, චනොකයිට් බයෝ්ටයිට් නයිස් වර්ගයත් හා ඒ මත පවතින අශුද්ධ ස්ථටිකෘත හුණුගල් ස්තර කිහිපයක් සහ සිහින් තැල්සිකේට ස්ථර, අන්තර් අවසාධිත තිරිවාරාටය නයිස් හා ග‍්‍රැනොලයිට් ස්මිටිකාන හුණුගල් ක්වාටසයිට් හා චානෝකයිට් පාෂාණ පවති (සීලවිමල හිමි 2013:59). සමෝච්ච විවිධත්වයකින් යුක්ත මුන්දෙනි ආරු නිම්නය පුරා ගුහා (Natural caves) පිහිටීම මෙම භූ දර්ශනය නිසා සිදු වූවකි. විශේෂයෙන් නුගේවල, නියදවරාගල හා කිතුල්ල යන ස්ථානවල ගල්ගුහා හමු වේ. ශේෂිත කඳුවැටි සහිත මෙම පරිසර පද්ධතිය පුරා හඳුනාගත හැකි ප‍්‍රධාන පස් වර්ගය වන්නේ රතු දුඹුරු පසයි (Deraniyagala 1992:494).

මෙම භූ විද්‍යාත්මක පිහිටීම නිසා ප‍්‍රධාන වශයෙන් ම ප‍්‍රාග් ඓතිහාසික මානව පැවැත්මට අත්‍යවශ්‍ය කාරණා රාශියක් මෙම පරිසර පද්ධතිය තුළ ස්වභාවිකව සැකසී තිබේ. ඒ අතර ප‍්‍රාග් ‌ඓතිහාසික මානවයන්ට සිය වාසස්ථාන ලෙස භාවිත කළ හැකි ස්වභාවික ගුහා මෙම නිම්න කලාපයේ පිහිටා තිබීම ත් දඩයම සඳහා ආයුධ සකස් කර ගැනීමට අවශ්‍යය තීරුවානා වර්ග (Quartz) රතු දුඹුරු පාංශු කලාපයේ මෙන් ම ඇල්ලාර ප‍්‍රදේශයේ සිට උතුරු දිශානුගතව පිහිටීම නිසා පහසුවෙන් අමුදාව්‍ය සපයාගත හැකි වේ. එසේ ම තුඩුවිල, නියදවරාගල හා කිතුල්ල වැනි ස්වභාවික ශේෂ කඳු නිර්මාණය වීම නිසා ස්වභාවිකව සැකසී තිබු භූ පතන ලක්ෂණ නිසා ඇතිවන පතස් ආශ‍්‍රීත ව එනම් මුදල්බිංදු වල, වඩිච්චල හා නුගේවල යන පතස් ආශ‍්‍රිත ව මසුන් දඩයම් කර ගැනීමට හැකි වී තිබේ. මුන්දෙනි ආරු නිම්න කලාපයේ කුර සහිත සතුන්ගේ යැපීම් ධාරිතාව වැඩි වීම නිසා එනම් මුවන්, ගෝනුන්, කුළුහරකුන්, මිමිනන් හා වල් ඌරන් වැනි සතුන්ගේ බහුලතාව ප‍්‍රාග් ඓතිහාසික මානව පැවැත්ම තහවුරු කිරීමට සුදුසු පරිසර තත්ත්වයන් නිර්මාණය කරයි.

එම නිසා ඉහතින් පෙන්වා දුන් කාරණා සැලකිල්ලට ගැනීමේ දී ජීවනෝපාය ක‍්‍රමය සඳහා අවශ්‍ය කරන කාරණා මෙන් ම ජනාවාස රටාව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පරිසර පද්ධතිය සහිත ගුහා බොහෝමයක් මෙම පරිසර පද්ධතියේ තිබු බැවින් මුන්දෙනි ආරු නිම්නයේ ආරම්භක ජනාවාස ප‍්‍රාග් ඓතිහාසික අවධිය තුළ ආරම්භ වන්නට ඇතැයි යන්න උපකල්පනය කළ හැකි ය.

මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික අවධියේ සංස්කෘතික සංදර්භගත වීම

මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ව නිර්මාණය වන මීළග තාක්ෂණික සංස්කෘතික අවධිය ලෙස මූල ඓතිහාසික සංස්කෘතික අවධිය පෙන්වා දිය හැකි ය. යථෝක්ත නිම්නය තුළ මූල ඓතිහාසික සංස්කෘතියට අදාල පැරණි ම සාධක කදිරවේලී පුරාවිද්‍යා ස්ථානයෙන් හමු වේ. එමෙන් ම, මුන්දෙනි ආරු නිම්නයේ හමුවන මූල ඓතිහාසික ස්ථාන අතර නුගේවල, වීරන්තලාව, බණ්ඩාරදුව හා නියදවරාගල වන ස්ථාන මූල ඓතිහාසික සංස්කෘතික අවධිය නියෝජනය කරයි. මෙම නිම්නයේ විශාල වශයෙන් මූල ඓතිහාසික සංස්කෘතියට අයත් සුසාන සංකීර්ණ ස්ථානගත වී තිබීම නිසා මෙම නිම්නයේ මූල ඓතිහාසික සංස්කෘතිය ස්ථාපිත වීමක් සිදු වී පැවති බව සිතිය හැකි ය.

මුන්දෙනි ආරු නිම්නය තුළ ස්ථානගත වන මූල ඓතිහාසික ජනාවාස එම නිම්නයේ ස්ථාවර වීම සඳහා කාල හා අවකාශය තුළ ගොඩනැගෙන්නා වූ බහුවිධ කාරණා බලපාන්නට ඇත. විශේෂයෙන් ම, දැනට අම්පාර දිස්ත‍්‍රික්කයේ මූල ඓතිහාසික පැරණි ම සාධක රජගල පුරාවිද්‍යා ස්ථානය ඇසුරින් හඳුනාගත හැකි වීම නිසා රජගල සිට උතුරු කලාපයට මූල ඓතිහාසික සංස්කෘතිය ප‍්‍රසාරණය වීමක් සිදු වූ බව සිතිය හැකි ය. මහාවංසයේ සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේගේ තෙ වැනිි ලංකා ගමන සිදු කරන අවස්ථාවේ දීඝවාපිය ප‍්‍රදේශයට වැඩම වීමත් යථෝක්ත නිම්නයෙන් දකුණු දිශානුගතව මෙම ස්ථානය හමු වීමත් නිසා ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවස වන විට මෙම නිම්නය ආශ‍්‍රිත ව මූල ඓතිහාසික සංස්කෘතිය පෝෂණය කළ ජන කණ්ඩායම් ජීවත් වූ බව සිතිය හැකි ය (මහාවංසය 2007,1 පරි. 78-79 ගාථා). මහාවංසයේ සඳහන් වන ආකාරයට දුටුගැමුණු රජතුමා එළාරට විරුද්ධ ව සිදු කළ යුද්ධ ව්‍යාපාරයේ දී ඒ කටයුතු සඳහා අවශ්‍ය ආහාර සකස් කිරීමට හා සේනා සංවිධානයට සද්ධාතිස්ස බින්තැන්නට යැවූ බවත් දුටුගැමුණු රජතුමාගෙන් පසු රජ පැමිණි සද්ධාතිස්ස දීඝාවැව හා අනුරාධපුර අතර ගව්වෙන්ගවුව වෙහෙරවිහාර ඉදිකළ බව සඳහන් වීම නිසා මාගම රාජධානියේ ගාමක බලය සැපයීම මෙම නිම්න කලාපයේ සිදු වී ඇත (මහාවංසය 2007, 23 පරි.96 ගාථා). මෙම සියලු කාරණා සැලකිල්ලට ගතහොත් පැහැදිලි වන්නේ දීඝවාපිය හා රජගල ආශ‍්‍රිතව කේන්ද්‍රගත වන මූල ඓතිහාසික සංස්කෘතිය හැඩ ගැසෙමින් පැවති සමාජ ආර්ථික හා තාක්ෂණ ශිල්පය පදනම් කරගෙන විශේෂි වූ අමුදාව්‍ය සොයා මුන්දෙනි ආරු නිම්න කලාපයට පැමිණෙන්න ට ඇති බව යි.

මුන්දෙනි ආරු නිම්නය වැදගත් සම්පත් විසිරුමක් සහිත ප‍්‍රදේශය කි. මෙම ප‍්‍රදේශය විජයානු ශ්‍රේණිය (Vijayan Series) කොණ්ඩලයිට් ශ්‍රේණිය (Viondalite series) භූ කලාපයට අයත් වේ. ප‍්‍රදේශය පුරා හඳුනාගත හැකි ප‍්‍රධාන පස් වර්ගය රතු දුඹුරු පාංශු කලාපය (RBE) හා ඇලුවියල් පාංශු වලින් (Aluvial soil) යුක්ත වේ.

මෙවැනි කලාප වල ජන සමාජයක් මුල් බැස ගැනීම සඳහා ප‍්‍රධාන කරුණු කිහිපයක් බලපායි. ඒ අතර ප‍්‍රධාන වශයෙන් මුන්දෙනි ආරු නිම්නය තුළින් හඳුනාගත හැක්කේ ග‍්‍රාමිය ජනපදයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය කරන පාරිසරික කරුණු හා ඒ ප‍්‍රදේශයට ආසන්නතම ස්ථානවල ඛණිජ සම්පත් පිහිටීම බව පෙනේ. මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත මූල ඓතිහාසික අවධියේ පුළුල් පරිසරය සැකසී ඇත්තේ හුදකලා කඳු කිහිපයකින් යුක්ත සරු පස සහිත පරිසරයක් තුළ ය. මෙම හුදෙකලා කඳු ආශ‍්‍රිත පරිසර පද්ධතිය ආශ‍්‍රය කරගෙන මූල ඓතිහාසික ජනාවාස ගණනාවක් ස්ථානගත වී ඇති බව ටැම්පිටිය, වීරන්තලාව, නියදවරගල, වෙහෙරෙගොඩ, රූගම, කපුරුල්ල, කිතුල්ල, ගිරාගොඩ හා නුගේවල යන ප‍්‍රදේශ වලින් හඳුනාගත හැකි ය. මෙවැනි හුදෙකලා කඳු හෝ ගොඩැලි නිර්මාණය වීම නිසා එම භූමි ආශි‍්‍රතව සමෝච්ඡ විවිධත්වයක් නිර්මාණය වී තිබේ. එම නිසා මෙවැනි පරිසර පද්ධතිය තුළ ස්වභාවික භූ පතන නිර්මාණය වීම හඳුනාගත හැකි අතර එම ස්ථාන ඊසාන දිග මෝසම් වර්ෂාව සක‍්‍රීය වීම සමග ජලය රැදෙන ස්ථාන බවට පත් වේ. මූල ඓතිහාසික අවධියේ ජනාවාසවල ස්ථානගත වීම පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී මෙවැනි භූ පතන සහිත ස්ථානවල එම ජනාවාස ස්ථානගත වී ඇති බව ඉබ්බන්කටුව, ඉදමොරළුවවැව, පොම්පරිප්පුව වාටිකා වළලෑම් ස්ථානය, යාන්ඔය තුළින් හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී තිබේ (සෙනෙවිරත්න 1996:285).

වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය

මුන්දෙනි ආරු නිම්නයේ පරිසර පද්ධතිය ආශ‍්‍රිත ව ජලයේ උපයෝගීතාව විමර්ශනය කිරීමේ දී බොහෝ මූල ඓතිහාසික ස්ථානයන් ආශ‍්‍රිත ව කුඩා වැවක් වර්තමානයේ දී හඳුනාගත හැකි ය. වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත ව ටැම්පිටිය වැව, ගිරාගොඩ හා වෙහෙරෙගොඩ ආසන්නයේ පාතේ වැව, කිතුල්ල හා රූගම ආසන්නයේ රූගම වැව හා කිතුල්ල වැව මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික සංස්කෘතියේ ජලයේ උපයෝගීතාව සඳහා ඉදිකළ ලොකුකුඩා වැව් වේ. ඊසාන දිග මෝසමින් ප‍්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය මිලමීටර් 1,000-1,500 ප‍්‍රමාණයක් ගන්නා බැවින් මෙවැනි කුඩා වැව් ආශ‍්‍රිත ව ජලය ගබඩා කර ගැනීමේ පහසුකම සැලසෙන අතර ටැම්පිටිය වැවේ පිටාර ජලය රූගම වැවට එක් වන ආකාරයෙන් වැව් පද්ධතියක් ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

පූජාවලියේ සඳහන් වන ආකාරයට සද්ධාතිස්ස රජු කර වූ වැව් අතර පදී වැව, කටුන්නරු වැව, දිවගුණ වැව, උතුර වැව, හැපියෝ වැව, පූසාදිගම වැව, මාලදෙනි වැව, මාමඩල වැව, කාදල වැව, කුදලා වැව, මහගුල වැව, රැන්දා වැව, තෙල වැව (පූජාවලිය 1961,34 පරි. 743) වැනි වැව් වලින් බොහෝමයක් මුන්දෙනි ආරු නිම්නයේ ඉදි කළ බව සිතිය හැකි ය. සීමිත කෘෂිකර්මාන්තය හා හේන් ගොවිතැන පවත්වාගෙන යාමට කුඩා පතන තරමක් විශාල කර වේලි බැද වැවක් සකස් කර ගන්නට ඇත. එමගින් වියළි කාල වල දී මඩ ගොවිතැන සඳහා අවශ්‍ය ජලය ලබාගන්නා ලදි. මූල ඓතිහාසික ජනයා කෘෂිකර්මාන්තයට අමතරව පශු පාලනය සිදු කළ ජන පිරිසක් ද වේ. ගව පාලනය කෘෂිකර්මාන්ත කටයුතු අවශ්‍යතා සඳහා සහ මස් පිනිස සිදු කරයි. වර්තමානය වන විට එළ හරක් සහ මී හරක් පට්ටි වශයෙන් මෙම නිම්නයේ පාලනය කරයි. ස්වභාවික තෘණ බිම් මුන්දෙනි ආරු නිම්නයේ පිහිටා ඇති නිසා සත්ව පාලනය සිදු කිරීම පහසු වී තිබේ.

මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික ජනාවාස රටාව අධ්‍යනයේ දී එම ජනපද එම භූමියේ ස්ථානගත වීම සඳහා ඛණිජ සම්පත් පිහිටීම බලපා ඇති බව පෙන්වා දිය හැකි ය. සේරුවිල ප‍්‍රදේශයේ දී මතුපිටට ප‍්‍රවිශ්ට වී ඇති විපරිත පාෂාණ තඹ නිධිය සැතපුම් 250ක් දිගින් යුක්තව සේරුවිල සිට හම්බන්තොට දක්වා ව්‍යාප්ත වී පවති (Senavirathna 1995:116). සේරුවිල සිට හම්බන්තොට දක්වා විහිදී යන මෙම ඛණිජ තීරුව යථෝක්ත මුන්දෙනි ආරු නිම්නය හරහා වැටි ඇති බව මේ අනුව සිතිය හැකි ය. මෙම තඹ නිධිය තුළ මැග්නටයිට්, රිදී, බිස්මත්, සින්ක්, මයිකා, ක්‍රෝමියම් හා නිකල් යන පාෂාණයන් හා රන් ද පවතින අතර මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික යුගය වන විට මෙම ලෝහ භාවිත කරන්න ට ඇති බව උපකල්පනය කළ හැකි ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ රාජා ද සිල්වා විසින් කදිරවේලි සුසාන භූමිය ආශ‍්‍රිතව කැනීම් සිදු කොට එම ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ වලින් නිර්මිත පුරාවස්තු හමු වූ බව ප‍්‍රකාශ කර තිබේ (Senevirathna 1984:248-57) මුන්දෙනි ආරු මුහුදට ප‍්‍රවිශ්ට වන මඩකලපුව ප‍්‍රදේශය ආශ‍්‍රිත ව මේ ආකාරයට යකඩ හා තඹවලින් නිර්මිත පුරාවස්තු හමුවීම මෙම නිම්නයේ තුළ යකඩ හා තඹ කර්මාන්තය මූල ඓතිහාසික අවධිය වන විට පැවති බවට තොරතුරු හෙළි කරයි.

මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික භූ දර්ශනය හඳුනා ගැනීමේ දී දැනට එම ප‍්‍රදේශයෙන් හමුවන මෙගලිතික සුසාන භූමි වැදගත් වේ. කදිරවේලි හා වීරන්තලාව මෙතෙක් යථෝක්ත ප‍්‍රදේශයේ හඳුනාගත් සුසාන භූමි දෙකක් වන අතර වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය ආශි‍්‍රත ව ටැම්පිටිය වැව පිහිටා තිබෙන අතර කදිරවේලි සුසාන භූමිය ආසන්නයේ මුහුද පිහිටා තිබේ. වීරන්තලාව මෙගලිතික සුසාන භුමිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජනාවාස සාධක සහිත ගොඩැලි කුඩාවලකටුව ප‍්‍රදේශයෙන් හමු වීම නිවැරදි ලෙස මෙම නිම්නයේ සිදු වූ මූල ඓතිහාසික ජනාවාස බිහිවීම අධ්‍යයනට උපයෝගි කරගත හැකි ය.

මුන්දෙනි ආරු නිම්නයේ ශවෝපචාර ක‍්‍රම මූල ඓතිහාසික අවධියේ සිට සිදුකළ බව වීරන්තලාව හා කදිරවේලි සුසාන භූමි සාක්ෂි සපයයි. මුන්දෙනි ආරු නිම්නයේ සංස්කෘතික භු දර්ශනය වෙනස් වීම මූල ඓතිහාසික අවධියේ දී මුල් වරට සිදු වූ බව හඳුනාගත හැකි ය. වර්තමානය වන විට මුන්දෙනි ආරු නිම්නයේ දැකිය හැකි සුසාන භූමි ශිලා මංජුසා සුසාන (Cist burial) ආකෘතියට සකස් කළ ඒවා වේ. මෙම සුසාන ඉදි කීරීම සඳහා විශාල ශිලා පතුරු භාවිත කර ඇති අතර මෙම ශිලා පතුරු ස්වභාවික ලෙස පර්වත වලින් ගැලවී ගිය ශිලා පතුරු හා ලෝහ භාවිත කර පර්වත වලින් ඉවත් කරගත් ශිලා පතුරු බව හඳුනා ගත හැකි ය. නියදවරාගල, නයාගල හා කඩුවකෙටුගල යන ස්ථානවල විශාල ගල් පර්වත හමුවන අතර එම ගල් පර්වතවලින් මෙම සුසාන ඉදි කිරීම සඳහා ශිලා පතුරු ලබා ගන්නට ඇති බව විශ්වාස කළ හැකි ය.

මුන්දෙනි ආරු නිම්නය තුළ ජීවත් වූ මූල ඓතිහාසික ජන කණ්ඩායම් එම නිම්නයේ භූ දර්ශනය වෙනස් කිරීමට ග‍්‍රාමීය ජනපද, මෙගලිතික සුසාන, ග‍්‍රාමිය වැව් මෙන්ම විවිධ ශිල්ප නිෂ්පාදන කටයුතු සිදු කරමින් මානව සාධකයේ තීරණාත්මක පියවරක් ඉදිරියට ගෙන ගොස් ඇති අතර එම තත්ත්වයන් එ සමයේ ඓතිහාසික අවකාශය හඳුනා ගැනීමට බෙහෙවින් උපකාරි වන බව පෙන්වා දිය හැකි ය.

බහු සම්පත් යැපුම් රටාව අනුගමනය කරන ලද අර්ධ ස්ථාවර ජන කණ්ඩායම් මුන්දෙනි ආරු නිම්නය පුරා ජනාවාස ගොඩ නගා ගනිමින් නිර්මිත පරිසරය සකස් කිරීම සමඟ නැවත වතාවක් තාක්ෂණික සංස්කෘතික පරිවර්තන අවධියක් ලෙස මුල් ඓතිහාසික (Early Historic) අයත් ජන කණ්ඩායම් ක‍්‍රිස්තු පූර්ව 300න් පසු මෙම නිම්න ප‍්‍රදේශයේ ජනාවාස පිහිටුවා ගෙන තිබේ. මෙම තාක්ෂණික සංස්කෘතික අවධිය අධ්‍යයනය කිරීමේ දී ඒ ආශ‍්‍රිතව වැදගත් මූලාශ‍්‍රය වන්නේ අභිලේඛනයන් ය (විතානාච්චි හා මෙන්ඩිස් 2015:27). මුන්දෙනි ආරු නිම්නයේ මුල් ඓතිහාසික අවධියේ ශිලා‌ෙලේඛන ගණනාවක් ස්ථාන ගත වී ඇති අතර ඒ අතර නියදවරාගල, රූගම, තොප්පිගල (මේධානන්ද 2013:224) ශිලාලේඛන අනාවරණය කර ඇති ඒවා වේ. නමුත් වසර 30ක යුද්ධයක් පැවති මෙම යථෝක්ත නිම්නයේ අනාවරණය නොකළ ශිලා ලේඛන කිහිපයක් ගිරාගොඩ ස්ථානයෙන් හඳුනාගෙන 2014 වර්ෂයේ මූලික අනාවරණය කිරීම සිදු කළේ ය.

මුල් ඓතිහාසික අවධියේ මුන්දෙනි ආරු නිම්නයේ සංස්කෘතික භූ දර්ශනය අධ්‍යයනයේ දී එම යුගයේ සමාජ සැකැස්ම හඳුනා ගැනීම අතිශයින් වැදගත් වන අතර ඒ සඳහා මහරජ හා බතවරු පිළිබඳ සඳහන් නියදවරාගල ශිලා ලේඛනය වැදගත් වේ (‌මෙධානන්ද 2013:12). එම ජන කණ්ඩායම් විසින් සිදුකළ සම්පත් හැසිරවීම, කාර්මික කටයුතු හා වාණිජ කටයුතු ආදි වූ විවිධ ශ‍්‍රම විභජන ක‍්‍රියාවන් හඳුනාගත හැකි ය. කායන්කර්නි ප‍්‍රදේශයෙන් හඳුනාගත් වරායක සාධක හා ගල් පාලම වාණිජ කටයුතු සිදු කිරීමට භාවිත කරන්නට ඇති අතර රට අභ්‍යන්තරයේ ක‍්‍රියාත්මක වූ වෙ‌ෙළෙඳ මධ්‍යස්ථාන ලෙස මුන්දෙනි ආරු නිම්න කලාපය පවතින්නට ඇත (ක්‍ෂේත‍්‍ර ගවේෂණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, 2017).

මුන්දෙනි ආරු නිම්නයේ මින් පසුව ගොඩ නැගෙන්නා වූ තාක්ෂණික සංස්කෘතික අවධිය බෞද්ධ ආගම කේන්ද්‍ර කර ගනිමින් බිහි වීම හඳුනා ගත හැකි ය. ස්ථාවර දාව්‍ය භාවිත කරමින් බෞද්ධ සංස්කෘතික පරිසරයක් මෙම නිම්නයේ ගොඩනඟා ඇති අතර ප‍්‍රදේශය පුරා පවතින බෞද්ධ විහාරාරාම අමතරව හමුවන මැටි බඳුන් කැබලි සංස්කෘතික අවකාශය ගොඩනඟයි. මුන්දෙනි ආරු නිම්නයේ පිහිටි අනුරාධපුර මුල් අවධියට අයත් බෞද්ධ ආගමික විහාරාරාම පිළිබඳ තොරතුරු පහතින් විස්තර වේ.

ටැම්පිටිය පුරාණ රජමහා විහාරය

මහඔය ටැම්පිටිය ග‍්‍රාමයේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. මෙම විහාරස්ථානයේ සිරිපතුල් ගල්, කොරවක් ගල්, සමාධි බුදු පිළිමයක් හා ගල් කණු නටබුන් පවතී. විහාරයේ උඩ මළුවේ ගොඩනැඟිලි දෙකක් පැවති බව අවශේෂ වලින් හෙළි වේ. එම ස්ථාන අසල ඇති ශිලා කැටයම් පුවරුවක ජල වන්දනයේ යෙදෙන ස්ත‍්‍රියක් හා නයි පෙන පහක් සහිත නාග රුවක් කැටයම් කර ඇති අතර මෙම පුවරුවේ තවත් මානව රූප දෙකක් දැකිය හැකි ය.

ටැම්පිටිය රජමහා විහාරයේ නටඹුන්

නියදවරාගල නටබුන්

මහඔය ටැම්පිටිය ග‍්‍රාමය ආශ‍්‍රිත ව මෙම ස්ථානය පිහිටා තිබේ. තරමක් උසැති කන්දක් ආශ‍්‍රිතව පැරණි විහාරස්ථානයක නටබුන් පවති. කඳු බෑවුමේ නැගෙනහිර දිශාවෙන් කටාර කෙටු ගල්ලෙන් දෙකක් පවතින අතර එම ගල්ලෙන් දෙකෙහි මූල බ‍්‍රාහ්මි ලෙන් ලිපි හඳුනාගත හැකි ය. කන්ද මුදුනේ ස්ථූප නටබුන් සහිත ස්ථානයේ ගිරි ලිපියක් පවති. එහි මුල් කොටස විනාශ වීමට ලක් වී ඇත.

පෙළ
……… බි මරතිස මහ රජහ ජ

අර්ථය
බි(මුල් අක්ෂර නොමැති නිසා වචනය අපහැදිලිය) මරතිස්ස මහ රජුගේ ජ(පසු අක්ෂර නොමැති නිසා වචනය අපහැදිලිය)

නියදවරාගල ශිලා ලේඛනය

මෙම ශිලා ලේඛනයේ කොටසක් පමණක් දැකිය හැකි අතර එම ලිපියේ මහරජ ලෙස සඳහන් වීම විශේෂ කරුණකි. පැරණි සමාජ නායකත්වය හඟවන ලිපි මුන්දෙනි ආරු නිම්න ප‍්‍රදේශයේ සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය අධ්‍යනයෙහි ලා අතිශය වැදගත් වේ. යථෝක්ත නිම්න ප‍්‍රදේශයේ මහරජ ස්ථානගත වීම ඉතා පැහැදිලි ලෙස මෙම ප‍්‍රදේශයේ පූර්ව රාජ්‍ය පාලන ඒකකයක් ලෙස බලය හා සම්පත් හැසිරවීම සිදු කළ ස්ථානයක් ලෙස හඳුනා ගැනීමේ හැකියාව පිළිබිඹු කරයි.

ගිරාගොඩ නටබුන්

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ විශාල ප‍්‍රදේශයක පැතිර පවතින නටබුන් සහිත ස්ථානය ගිරාගොඩ ලෙස හඳුනාගත හැකි ය. ආසනඝර, කැටයම් රහිත සඳකඩපහන්, කොරවක් ගල්, උළු, මල් ආසන හා මුත‍්‍රා ගල් මෙම විහාර භූමිය පුරා දැකිය හැකි ය.

ගිරාගොඩ නටඹුන්

ගිරාගොඩ ශිලාලේඛනය 2014 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාල ගවේෂණ සංගමය විසින් පිටපත් ලබා ගැනීම සිදුකර කැලණිය විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ශිෂ්‍ය පර්යේෂණ සමුළුවේ දී ප‍්‍රකාශයට පත් කරන ලදි.

පෙළ

1. සිද්ධ හතවනක වසන
2. කරටිය වජිරයේ අබක නක
3. අබලි කනහි එක ව . . . . . . .
4. වෙච නරවලක ම(හ විහර)
5. හි තිස කහවණ අරියව(ස)
6. (කො)ටු දිනිහි (ශිලා ලේඛනය කියවීම: ‌‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ති බණ්ඩාර 2014)

අර්ථය

යහපතක් වේවා! හතවනක නම් ස්ථානයේ වාසය කරන කරටිය වජිරයේ අබකනක නම් පුද්ගලයා අබලිකණ නම් ස්ථානයෙහි එක …….. (කිසියම් එක් දෙයක්-ලිපිය කැඩි ඇති නිසා කියවිය නොහැකිය) සහ කහවනු තිහක් නරවලක මහා විහාරයේ අරියවංස උත්සවයට දෙන ලදි

මෙම ශිලා ලේඛනයෙහි සඳහන් කහපණ ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවසේ සිට ශ‍්‍රි ලංකාවේ භාවිත වී ඇත. කාසි භාවිතය පදනම් කරගත් සමාජ, ආර්ථික ව්‍යුහයක් ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස වන විට මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගොඩනැගී තිබු බව නිගමනය කිරීමට මෙ මඟින් හැකි වේ. ගිරාගොඩ ශිලාලිපියේ මහවිහර ලෙස සඳහන් වීම මෙම ප‍්‍රදේශයේ පැවති ආගමික ප‍්‍රබෝධය පිළිබඳ තොරතුරු හෙලිකරයි. විශේෂයෙන්, සද්ධාතිස්ස රජතුමා (ක‍්‍රි.පූ. 137-119) අනුරාධපුර රාජ්‍ය පිහිටුවීමෙන් පසු අනුරාධපුරත්, දීඝවාපියත් අතර යොදුනක් යොදුනක් පාසා වෙහෙර විහාර ඉදිකළ බව සඳහන් වේ (මහාවංසය 2007, පරි. 33, ගාථා 9-10). මූල බ‍්‍රාහ්මි ලිපි විස්ථාරණය වීමට සහ පූර්ව නාගරික කේන්ද්‍රයන්ට අනුව නුගේවල, ගිරාගොඩ, නියදවරාගල හා ටැම්පිටිය විහාරය යන පුරා ස්ථානවල පිහිටීම අනුව අනුරාධපුරත්, මාගමත් සම්බන්ධ කළ මාර්ගයක් මෙම ප‍්‍රදේශය හරහා පවතින්නට ඇත.

නුගේවල නටබුන්

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පිහිටි පැරණි නටබුන් වලින් බහුල ස්ථානයකි. මෙහි දාගැබක අවශේෂ ද පුරාණ ගොඩනැඟිලි කිහිපයක ගල් කණු දැකිය හැකි ය. කැටයම් රහිත මුරගල්, කැටයම් රහිත සඳකඩපහන් හා පොකුණක සාධක මෙම භූමියේ පවති. කටාර කෙටු ගල් ලෙනක් ඇති අතර ශිලාලේඛන සාධක නො පවතී. පුරාවස්තු මංකොල්ල කරුවන්ගේ තෝතැන්නක් බවට මෙම ස්ථානය පත් වී ඇති බව ප‍්‍රකාශ කළ හැකි ය. මෙම ස්ථානයට නුදුරු ස්ථානයක තිබී තැලුම් ගල් සඳහා යොදාගත් ශිලා පතුරක් හඳුනාගැනීමට හැකි වූ අතර මුන්දෙනි ආරු නිම්නයේ භූ දර්ශනය නිර්මාණය සඳහා මානව සාධකයේ භූමිකාව හඳුනාගැනීමේ දී මෙම ස්ථානය ප‍්‍රාග් ඓතිහාසික අවධිය දක්වා පැරණි බව හඳුනා ගැනීමට හැකි සාධක පවතී.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • පූජාවලිය (1961), සංස්. ඒ.වී. සුරවීර, කොළඹ.
  • සවිස්තර මහාවංස අනුවාදය (2007), සංස්. එම්. ඉලංගසිංහ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • රාජාවලිය (1976), සංස්. ඒ.වී. සුරවීර, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.
  • දිසානායක, ආර්. (2014), ශ‍්‍රී ලංකාවේ මැටි බඳුන් භාවිතයේ වර්ධන ඉතිහාසය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • බණ්ඩාරනායක, එස්. (2000), උරුමයක ආවර්ජනා (පූර්ව නූතන ශ‍්‍රී ලංකාවේ ඉතිහාස ශාස්ත‍්‍රවේදීත්වය I කොටස), සංස්. එච්. ගුණවර්ධන, එස්. පත්මනාදන් හා එම්. රෝහණධීර, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය.
  • මේධානන්ද හිමි, ඉ. (2003), පාචීන පස්ස-උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • මේධානන්ද හිමි, ඉ. (2008), නවතම ශිලාලිපි ගවේෂණ, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • මේධානන්ද හිමි, ඉ. (2013), රුහුණේ යටගියාව හා සෙල්ලිපි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • විතානාච්චි, සී. (2005), පෞරාණික ස්ථාන හා ස්මාරක-අම්පාර දිස්ත‍්‍රික්කය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • විතානාච්චි, සී. (2012), මූල ඓතිහාසික අවධිය, ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය I වෙළුම, සංස්. ඩබ්.එම්.කේ. විජේතුංග, ඇම්.ඞී ගුණසේන සහ සමාගම, කොළඹ.
  • සීලවිමල හිමි, ආර්. (2013), ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ වලං කර්මාන්තය, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සෝමදේව, ආර්. (2014), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka, an ecological perspective, Department of Archaeology, Colombo.
  • Ephigrapia Zeylanica, Vol-4, 5. Department of Archaeological Survey, Colombo
  • Senevirathne, S. (1984), The Archaeology of the Megalithic-Black and Red ware complex in Sri lanka, Ancient Ceylon, No.5, Journal of the Archaeological Survey Department of Sri Lanka, Colombo.
  • Senevirathne, S. (1985), The Baratas: A Case of community integration in early historic Sri Lanka, Colombo.
--------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.08.20 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
--------------------------------------------------------------------------------

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III – කලාව හා භෞතික මානවවිද්‍යාව

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගයේ කලාව

චන්දිම බණ්ඩාර අඹන්වල

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මානවයා විසින් භාවිත කරන ලද කලාව හා අදාළ කෘති පිළිබඳ ව සමාජ පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුක්තව ආචාර්ය නිමල් පෙරේරා විසින් ඔ්ස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ Prehistoric Sri Lanka නම් තම දර්ශනසූරි උපාධි නින්ධනයේ දී ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර ඇත. එයින් පසුව ප්‍රවීන සත්ව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍රආරච්චි ද මේ පිළිබඳ විග‍්‍රහාත්මක ලිපියක් සම්පාදනය කර ප‍්‍රකාශයට පමුණුවා තිබීම හේතුවෙන් සිංහල පාඨකයාට ඒ පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීමට හැකිව පවතී (‌මෙම ලිපියේ දැක්වෙන පබළුවල මිනුම් ලබාගන්නා ලද්දේ එම ලිපියෙන් බල සලකන්න.). මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා යුගයේ විධිමත් හා උත්කෘෂ්ට නිර්මාණ රැසක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල්ලෙන් කැනීම් තුළින් අනාවරණය වී ඇති බව දැනගැනීමට අවස්ථාව විවරව ඇත.

බුලත්සිංහල ෆා-හියන් ගුහා‌ෙවෙන් හමු වු මොරාගේ කොඳු ඇටයකින් සකස්කරන ලද පබළුවක් (අදින් වසර 38,000) (වම් පස ඡායාරූපය), බටදොඹලෙන 7c ස්ථරයෙන් (අදින් වසර 37,000-32,000) හමු වූ මුහුදු බෙලිකටු පබළුව – ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් හමුවන පැරණිම පළදනාවයි. (දකුණේ ඉහළ ඡායාරූපය), බටදොඹලෙන 6 ස්ථරයෙන් (අදින් වසර 16,000-14,300) හමු වූ මුහුදු දෙපියන් බෙලිකටුවකින් සකස් කළ ඔිවලාකාර පළදනාව (දකුණේ පහළ ඡායාරූපය)

ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා සන්දර්භ හා ඒවායේ කාලනීර්ණ පිළිබඳ සලකා බැලීමේ දී පබළු වශයෙන් සැලකිය හැකි පුරාකෘති හැර කලාකෘති වශයෙන් භාවිත කළ වෙනත් දේවල් පිළිබඳ සාධක දුර්ලභ ය. අදින් වසර 31,000ට කාලනීර්ණය කර ඇති බටදොඹලෙන පාංශු ස්තරයකින් බෙලිකටුවලින් නිර්මාණය කළ පබළුවක් ලැබීම මේ පිළිබඳ අනාවරණය වී ඇති පැරණිම සාධකයි. මෙම සාධක ඉන්දියාවේ හා වෙනත් රටවලින් ලැබෙන මධ්‍යශිලා පබළු සාධකයනට වඩා පැරණි බව තහවුරු වේ. මීට අමතරව අවිස්සාවේල්ල අසළ පිහිටි කිතුල්ගල බෙලිලෙනින් අස්ථිවලින් කළ බැරල් හැඩයේ පබළු ද ලැබී ඇත. කුරුවිට ආසන්නයේ බටදොඹලෙන 7c යනුවෙන් නම්කර ඇති පාංශු ස්ථරයෙන් (අදින් වසර ca 28,500 පමණ) හමු වූ බෙලිකටු ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය නියෝජනය කරමින් හමුවන පැරණිම පළඳනාව වශයෙන් සැලකේ. තනි කටුවක් ඇති මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කෙලවරට අයත් ක‍්‍රමාණුකූලව ඉවත් කරන ලද වටකුරු කටු කොටසකින් මෙය නිර්මාණය කර ඇත. මිලිමීටර් 13.7×15.3×1.5 ප‍්‍රමාණයේ වන මෙම පබළුව දුඹුරු රතුවන් පැහැති වේ. මෙම පබළුවේ මැද සිදුර සියුම් ආකාරයෙන් නිර්මාණය කොට ඇති අතර දෙ පසින්ම විද සිදුර සකස් කර ඇති බවත් හඳුනාගත හැකි වේ.

 

ලා රෝස මිශ‍්‍ර රිදිවන් අළු පැහැති ප‍්‍රමාණයෙන් මිලිමීටර් 8.2×6.3×0.6 වූ බටදොඹලෙන 6 වැනි පස් ස්ථරයෙන් (අදින් වසර 16,000-14,300) හමු වූ පළදනා අතර මුහුදු දෙපියන් බෙලිකටු කොටසකින් නිර්මාණය කර ඇති ඕවලාකාර පළදනාව ද මේ සම්බන්ධ කථිකාවේ දී වැදගත් වේ. එහි එක් පසෙක පිටත දාරයේ සියුම් අන්දමින් දැති සකස්කර ඇති අතර එහි විචිත‍්‍රවත්බව වැඩි කිරීමේ අරමුණින් මෙ ලෙස හැඩගැන්වූවා වීමට පුළුවන. මෙහි මධ්‍යයේ සියුම් සිදුරක් සකස් කර ඇත.

බටදොඹලෙන 5 ස්ථරයෙන් හමු වූ (අදින් වසර ca.13,500 BP) දෙපියන් බෙලිකටු කැබැල්ල (වමේ), බටදොඹලෙන 6 ස්තරයෙන් ම හමු වූ අනෙක් පළදනාව තනි කටුවක් සහිත මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් සකස් කර ඇති ඔවලාකාර හැඩයක් ගත්තකි (මැද), අත්තනගල්ල ‌පොත්ගුල්ලෙනිිිින් හමු වූ ආභරණයක් (දකුණ)

කුරුවිට බටදොඹලෙන 6 වැනි පස් ස්ථරයෙන් ම හමු වූ අනෙක් පළදනාව තනි කටුවක් සහිත මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් සකස් කර ඇති අතර හැඩයෙන් ඕවලාකාර වේ. ලා කහ පැහැති මෙය ප‍්‍රමාණය මිලිමීටර් 8.7×7.7×1.5 වන අතර එහි පිටත දාරය සියුම් ලෙස සකස් කර ඇති අතර මධ්‍යයේ සියුම් සිදුරක් ද විද සකස් කර ඇත. එම ගල්ලෙනේ ම 5 වැනි පස් ස්ථරයෙන් අනාවරණය වූ (අදින් වසර ca 13,500 BP) දෙපියන් බෙලිකටු කැබැල්ලකින් සකස් කළ පබළුව බොහෝ දුරට ත‍්‍රිකෝණාකාර හැඩය ඉස්මතුවන ආකාරයට ඝණ මතුපිටක අතුල්ලා සකස් කර එක් කෙළවරක සියුම් ලෙස සිදුරක් විද සකසා ඇත. මෙහි උපරීම උස මිලිමීටර් 16.9ක් ද පළල හා ඝණකම මිලිමීටර් 10.0×0.6ක් ද වන අතර අළු පැහැති වර්ණයක් ගනී.

බුලත්සිංහල ෆා-හියන් ප‍්‍රාග් ඓතිහාසික ගුහාවේ මිශ‍්‍ර පස් ස්තරයකින් හමු වූ මුහුදේ වාසය කරන මෝර මතස්‍යයාගේ

මෝර දතින් සකස් කළ පළදනා – අත්තනගල්ල ‌පොත්ගුල්ලෙන (වම් පස) හා අළුගල්ගේ (දකුණු පස)

දතකින් සකස් කළ ගෙල පළඳනාව ද ලංකාවේ සමාජ පුරාවිද්‍යාව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වැදගත් තැනක් හිමිකර ගනී. මෙම දතේ පහළ කොටස දෙපසින්ම සියුම් ලෙස සිදුරු කොට පළදනාවක් ලෙස සකස් කොට ඇත. 2010 වසරේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරි ගේ ප‍්‍රමුඛත්වයෙන් සිදුකළ අත්තනගල්ල පොත්ගුල්ලෙන කැනීම මඟින් ප‍්‍රාග් ඓතිහාසික කලාව හෙවත් ආභරණ පිළිබඳ සාධක කීපයක්ම ලැබී ඇත. මෙම කැනීමේ දී ද මෝර මතස්‍යය දතකින් සකස් කළ ගෙල පළදනාවක් අනාවරණය වී ඇති අතර එය විශේෂ ආභරණයක් වශයෙන් හඳුනාගත හැකි වේ. ඊට අමතරව මුහුදු බෙලිකටුවෙන් කළ දළ චතුරස‍්‍රාකාර හැඩයක් ගන්නා පළදනාව ද වැදගත් නිර්මාණයක් වශයෙන් හඳුනාගත හැකි වේ. එයින් පසුව මහාචාර්ය රාජ් සෝමදේව විසින් සිදුකළ අළුගල්ගේ ප‍්‍රාග් ඓතිහාසික කැනීම මඟින් ද හැඩයෙන් මෙවැනි ම ගෙල පළඳනාවන් ලැබී ඇත.

ප‍්‍ර‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් අනාවරණය වන්නා වූ ගස් ගොළුබෙල්ලන්ගේ කටු, යොතක අමුණා මාලයක් ආකාරයෙන් ගෙල පැළඳි ආභරණ වශයෙන් මධ්‍යශිලා මානවයා විසින් භාවිත කරන්නට ඇතැයි අදහසක් ඉදිරිපත් වී ඇත. ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානවලින් අනාවරණය වන ගොඩබිම හා මිරිදියේ වාසය කරන ගොළුබෙල්ලන්ගේ කටුවේ සිදුරක් පැවතීම මේවා ආභරණ ලෙස භාවිත කිරීමට ඇත යන, අනුමාණ අදහසට පුරාවිද්‍යාඥයින් ‌යොමු වීමට බල පා ඇත. මෙම බෙල්ලන් අතර වර්ෂා වනාන්තරවල වාසය කරන Acavus හා Oligospira විශේෂයනට අයත් මෙන් ම මිරිදියේ ජීවත් වන Paludomus වර්ගයන්ට අයත් ගොලුුබෙල්ලන් හඳුනාගත හැකි වේ. මෙම බෙල්ලන්ගේ කවචයේ පහළ කොටසේ පවත්නා සිදුර තුළින් හුයක් යොදා, මාලයක් මෙන් සකසා ගෙල පළදින්නට ඇතැයි විශ්වාස කරයි. නමුත් යම් පුද්ගලයෙකු වැඩි රුචිකත්වයක් දක්වන්නේ දුර්ලභ දෙයක් හෝ අලංකාරවත් වඩා ආකර්ශනීය දෙයක් ආභරණ වශයෙන් පැලදීමට බැව් වර්තමාන සමාජය දෙස බැලීමෙන් වුව පැහැදිලි වේ. ඒ අනුව ගස් හා දිය ගොළුබෙලි කවච ආභරණ වශයෙන් භාවිත වන්නට ඇති අවකාශය අඩු බව සාමාන්‍ය සමාජය දෙස බැලීමේ දී වුව පැහැදිලි වේ. එ සේ නම් එකී කවචයන්ගේ ඇති සිදුර ඇති වූයේ කුමන සාධක නිසාද යන්න සලකා බැලිය යුතු වේ. කවචයේ ඇතුළත ඇති මාංශ කොටස පිටතට ගැනීම සඳහා මෙවැනි සිදුරක් භාවිත කරන්නට ඇතැයි යන්න ඒ පිළිබඳ ඇති විකල්ප පැහැදිලි කිරීමකි. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් තම අවධානය යොමු කරමින් අධ්‍යයන කටයුතු සිදුකළ ආචාර්ය වසන්ත සේන වැලිඅංග විසින් ප‍්‍රාග් ඓතිහාසික ජනයා බෙල්ලන් පාරිභෝජනය කිරීමේ අපේක්‍ෂාවෙන් සඳහා ඔවුන් එක්රැස් කිරීම, පරිවහණය හා ගබඩා කොට තැබීම සඳහා මෙම සිදුර භාවිත කරන්නට ඇත යනුවෙන් ඉදිරිපත් කළ මතය වඩාත් පිළිගතහැකි මට්ටමක පවත්නනා බව පෙනී යයි. නමුත් මෙම සියලු කාරණාවන්ගේ අඩුවැඩි බලපෑමෙන් මෙම සිදුර ඇති වීමට ඇතැයි සිතීම වඩාත් තර්කගෝචර වේ.

ලංකාවෙන් හමුවන ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා ගල් මෙවළම් (ජ්‍යාමිතික හැඩ ඇතිවන සේ නිර්මාණය කළ සෙන්ටිමීටර් 4.5ට වඩා කුඩා ගල් මෙවළම් මේ නමින් හඳුන්වයි.) අතිශය සියුම් හා කලාත්මක ලක්‍ෂණයන්ගෙන් අනූන ය. ලෝකයේ වෙනත් රටවල ක්‍ෂද්‍රශිලා මෙවළම් සමඟ සන්සන්දනය කිරීමේ දී ලංකාවෙන් හමුවන ක්‍ෂුද්‍රශිලා මෙවළම් විශිෂ්ට ලක්‍ෂණයන්ගෙන් අනූන බව ඒ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි. එබැවින් ඍජු ලෙස කලානිර්මාණ වශයෙන් නම් කළ නොහැකි වුවත් මෙම ගල් මෙවළම් ද මධ්‍යශිලා බලංගොඩ මානවයාගේ කලාත්මක චින්තනය හා නිර්මාණශීලීත්වය පිළිබිඹු කරන නිර්මාණ ලෙස සලකා බැලීමට හැකියාවක් ඇත. ලංකාවේ ශිලාමෙවළම් අතර ‘බලංගොඩ උල් මෙවළම්’ (Balangoda point) යනුවෙන් හඳුන්වනු ලබන ගල් මෙවළම් ඉතා සියුම් හා ඉහළ කලාත්මක ලක්ෂණ නිරූපණය කරනු ලබන නිර්මාණ විශේෂයක් වශයෙන් දැක්විය හැකි වේ. පිරිසිදු තිරුවාණා ගලින් නිමවා ඇති මේවායේ දෙ පසින්ම පතුරු ඉවත් කර උත්තල හැඩයක් එන ලෙස නිර්මාණය කර ඇත. බටදොඹලෙන 7b ස්තරයෙන් අදින් වසර 30,000ක් පමණ පැරණි පස් ස්තරයෙන් හා ඇඹිලිපිටියේ සිදුකළ පර්යේෂණ කැනීම් තුළින් මෙවැනි ‌මෙවළම් ලැබී ඇත. මෙවැනි ආයුධ ලංකාවෙන් ම ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් අනාවරණය වී තිබිම ද විශේෂත්වයකි. පසුගිය කාලයේ දී මහාචාර්ය රාජ් සෝමදේව විසින් උඩවළවේ නිමිණයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමක දී එකම ස්ථානයකින් මේ වර්ගයේ මෙවළම් 3ක් පමණ අනාවරණය වීම ද විශේෂත්වයකි. ආචාර්ය සිරාන් දැරණියගලගේ මතය අනුව, මෙම මෙවළම ආයුධයක් වශයෙන් භාවිත කළ බවට පැහැදිළි නැත. මෙම මෙවළම් නායකත්වය නිරූපණය කිරීම සඳහා භාවිත කළ විශේෂ මෙවළමක් හෝ සම කාලීන ප‍්‍රජාව විසින් ආගමික ඇදහිලි සඳහා භාවිත කළ පූජනීය මෙවළමක් වශයෙන් උපකල්පනය කිරීමට හැකියාව ලැබේ.

ප‍්‍රාථමික ශෛලියේ ගුහාචිත‍්‍ර : ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පිහිටා ඇති ස්ථාන 50කට වැඩි ප‍්‍රමාණයකින් ප‍්‍රාථමික ශෛලියේ ගුහාචිත‍්‍ර අනාවරණය වී ඇත. සරළ හෙවත් ප‍්‍රාථමික ක‍්‍රමශිල්පි භාවිත කරමින් සිතුවම් තලය ක‍්‍රමික හෝ විධිමත් සකස් කිරීමකින් තොරව, විශේෂ වර්ණ භාවිතයෙන් තොරව නිර්මාණය කර ඇති සිතුවම් ‘ප‍්‍රාථමික ශෛලියේ සිතුවම්’ යනුවෙන් හඳුන්වනු ලැබේ. එච්.සී.පී. බෙල්, ජොන් ස්ටිල්, සී.ජී. හා බී.ඉසෙඞ්. සෙලිග්මාන් යුවල, පී.ඊ.පී. දැරණියගල, බී.ඩී. නන්දදේව හා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු විද්වතුන් කීප දෙනෙකු විසින් ලංකාවේ ඇති ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් පිළිබඳ අධ්‍යයන කටයුතු සිදුකර ඇත. මෙම සිතුවම් ඇඳ ඇති ආකාරය අනුව ඇදීම (paintings) හා සීරීම (engravings) යනුවෙන් ක‍්‍රමශිල්ප දෙකකට අනුව සිතුවම්කරණය සිදුකර ඇති බව හඳුනාගත හැකි වේ. කිසිදු සකස් කිරීමකට ලක් නොකළ, පිහිටි ස්වභාවයේ ගල් තලයක් මතුපිට දර අළු හෝ හුණු වැනි වර්ණක භාවිතයෙන් රූප සටහන් නිරූපණය කර දැක්වීම ඇඳීම යනුවෙන් හඳුනාගත හැකි අතර තිරුවාණා ගල් පතුරක් වැනි තියුණු තුඩක් උපකාරයෙන් ගල සූරා රූප සටහන් මතු කිරීම සීරීම යනුවෙනුත් දැක්විය හැකි වේ. ලංකාවේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ඇති ස්ථාන අතුරින් සැලකිය යුතු වැඩි ප‍්‍රමාණයක සුදු හෝ ඊට සමාන පැහැ දර අළු හෝ හුණු භාවිතයෙන් සිතුවම් නිර්මාණ කර ඇති බව දැකගත හැකි වේ. ස්ථාන කීපයක දී පමණක් විවිධ වර්ණ භාවිතයෙන් සිතුවම්කරණය සිදුකර ඇති බව හඳුනාගත හැකි වේ. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි කුරුල්ලන්ගල සිතුවම් සහිත ස්ථානය ඒ සඳහා ඇති කැපී පෙනෙන නිදසුන් ස්ථානයක් වශයෙන් අවධානයට පාත‍්‍ර කළ හැකි වේ.

ලංකාවේ ප‍්‍රදේශ වශයෙන් පොදුවේ සලකා බැලීමේ දී කොටස් තුනක මෙවැනි සිතුවම් සංචිත වී ඇති බව මහාචාර්ය බී.ඩි. නන්දදේව පෙන්වා දී ඇත. එනම්, අ. උතුරු මැද කලාපය, ආ. නැඟෙනහිර හා ගිණිකොණදිග කලාපය හා ඇ. මධ්‍යම කඳුකර කලාපය වශයෙනි. තන්තිරිමලේ, බිල්ලෑව, කොමාරිකා ගල්ගේ, ආඬියාගල හා කොනගරායංකුලම් වැනි ස්ථාන උතුරුමැද කලාපයේ පිහිටා ඇති ස්ථාන අතර වේ. ලංකාවේ පිහිටි ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් ක්‍ෂේත‍්‍ර අතුරින් අති බහුතරයක් නැඟෙනහිර හා ගිණිකොණ දිග කලාපයට අයත් වන අතර ඒ ප‍්‍රදේශයේ පිහිටි ක්‍ෂේත‍්‍ර අතරට කොනත්තේගොඩ ගල්ගේ, පුංචිකිරිඅම්මා ගල්ගේ, හුලංනුගේ, මහලේනමඑළිය, මණ්ඩාගල්ගේ, බඹරගස්තලාව, කඳුරුපොකුණ, පානමවැව, රජගලකන්ද, කුඩුම්බිගල, ගොනාගොල්ල, උස්සාගල, සංගමන්කන්ද හා නිල්ගිරිකන්ද වැනි ස්ථාන ගනනාවක් අයත් වේ. මොලගොඩ, දොරවකකන්ද ඇතුබැඳිලෙන, දොරවක නිධහන්ගල හා අලවුව හක්බෙලිකන්ද වැනි ස්ථාන මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් කලාපය නියෝජනය කරන මේ කලාපයේ සීරුම් ක‍්‍රමයට සකස් කළ සිතුවම් ස්ථාන බහුල බැව් හඳුනාගත හැකි වේ.

ලංකාවේ මෙම සිතුවම්වල කාලනීර්ණය පිළිබඳ ප‍්‍රමාණවත් හා පිළිගත් අධ්‍යයනයක් මෙතෙක් සිදු වී ඇති බව දැකගත නොහැකි වේ. මෙම සිතුවම් අතර ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවට නිසැක ලෙස තහවුරු කළ සිතුවම් ඇති බව දැනගැනිමට නොමැත. මෙම වර්ගයේ සිතුවම් පිළිබඳ ව පර්යේෂණාත්මක අවධානයක් යොමුකළ සෙලිග්මාන් යුවල හා ජෝන් ස්ටීල් වැනි විද්වතුන් මෙවැනි සිතුවම් මෑත කාලයේ ඇදි බවට සාධක ඉදිරිපත් කරයි. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ දී හා තන්තිරිමලේ වැනි ස්ථානවල දී ඉහත දැක් වූ පර්යේෂකයින් වැදි කාන්තාවන් විසින් මෙවැනි සිතුවම් අඳින ආකාරය තමන් නිරීක්‍ෂණය කළ බවත් තම ස්වාමීපුරුෂයින් හා පුරුෂ පාර්ශවය අදාළ ගල්ලෙන්වලින් පිටත්ව ගිය අවස්ථාවල දී දැව පිළිස්සීමෙන් ශේෂ වන අළු හා මුඛයේ කෙළ මිශ‍්‍ර කර තමන් විසින් මෙම සිතුවම් ඇඳි බව වැදි කාන්තාවන් ප‍්‍රකාශ කළ බවත් දක්වා ඇත. මෙම සිතුවම් සටහන් කර ඇති ස්ථාන අතුරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් කටාර කපා සකස් කළ හා විටෙක පූර්ව බ‍්‍රාහ්මී ලේඛන සටහන් කළ ගල්ලෙන් භිත්ති මත සටහන් කිරීමෙන් ඒවායේ පෞරාණිකත්වය පිළිබඳ නැතිනම් අදාළ කාලය පිළිබඳ අදහසක් ඇතිකර ගත හැකි වේ. ඒ අනුව මෙම සිතුවම් අතුරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඓතිහාසික කාලපරිච්ඡ්දයට අයත් බව තීරණය කළ හැකි වේ. මෙම සිතුවම් අතුරින් ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් ස්වල්පයක් හෝ තීබීමට ඉඩ ඇතැයි ආචාර්ය සිරාන් දැරණියගල අදහස් පහළ කරයි. නමුත් ඉදිරියේ දී සිදුකරන පෙළඹී ගිය විධිමත් පර්යේෂණ මඟින් මේ පිළිබඳ ව සනාථ කළ යුතුව ඇත. මෙම සිතුවම් අතුරින් දොරවක, මොලගොඩ හා නැවුගල යන ස්ථානයන්ගේ සිතුවම් අදින් වසර 28,000-2600 අතර ප‍්‍රාග් ඓතිහාසික කාලයට අයත් බවත් ඌරාකන්ද හා පදවිගම්පොළ යන ස්ථානයන්ගේ සිතුවම් පූර්ව ඓතිහාසක කාලයට (අදින් වසර 2,600-2300) අයත් බවත් මහාචාර්ය බී.ඩී. නන්දදේව දක්වා ඇතත් එය ප‍්‍රමාණාත්මක ලෙස පිිළිගැනීම අපහසු වේ.

මේ සිතුවම්වල කාලනීර්ණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වරකාපොළ ආසන්නයේ පිහිටි දොරවකකන්ද ඇතුබැඳිලෙනින් මේ පිළිබඳ අවධානයට පාත‍්‍රකළ යුතු සාධක අනාවරණය වී ඇත. ඒ ලෙන තුළ ගල් භිත්තියේ සූරා සටහන් කර ඇති සිතුවම් සංචිතයේ පහළම මට්ටමේ පවතින සිතුවම් කැනීමේ පස් ස්තර හා සැසඳීමේ දී සමාන්තර ස්ථරණය අනුව ස්තර අංක IV නොහොත් සංසිද්ධි අංක 49ට සමාන්තර බව හඳුනාගන්නා ලදි. මෙම ස්ථරය කාබන් 14 ක‍්‍රමය යටතේ අදින් වසර 1950+/_50ට අයත් බව නීර්ණය කෙරිණි. මෙම කාලනීර්ණය අයත් වන්නේ මූල ඓතිහාසික අවධියටයි. ඒ අනුව මෙම සිතුවම් ප්‍රොටෝ ඓතිහාසික හෝ මූල ඓතිහාසික අවධියට අයත් සිතුවම් බව විධිමත් පුරාවිද්‍යා කාලනීර්ණ අනුව පැහැදිලි වේ. මෑත කාලීනව අවධානයට පාත‍්‍ර වූ බදුල්ල ආසන්නයේ පිහිටි කුරුල්ලන්ගල දක්නට ඇති සිතුවම් දළ වශයෙන් පරික්‍ෂා කිරීමේ දී බෙහෙවින් පැරණි කාලයකට අයත් විය යුතු බවට අදහසක් ඇතිකර ගත හැකි වුවත් ඒකී කාරණය ද විධිමත් පුරාවිද්‍යා පර්යේෂණ මඟින් සනාථ කළ යුතු වේ.

ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගයේ භෞතික මානවවිද්‍යාව

ආචාර්ය පී.ඊ.පී. දැරණියගල

ලංකාවේ මධ්‍යශිලා නැතිනම් බලංගොඩ මානවයාගේ ශාරිරික මානවවිද්‍යාව පිළිබඳ ව විද්වතුන් කීප දෙනෙකුගේ ම අවධානය යොමු වී ඇතත් ඒ අතුරින් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල, මහාචාර්ය කේ.ඒ.ආර්. කෙනෙඩි හා ආචාර්ය ඩයනා හෝකී යන විද්වතුන් විසින් සිදුකර ඇති අධ්‍යයන වඩා වැදගත් කොට සැලකිය හැකි වේ. මේ දක්වා ලංකාවේ සිදුකර ඇති විධිමත් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැනීම් හා පර්යේෂණ මඟින් අනාවරණය වී ඇති සම්පූර්ණ හෝ අසම්පූර්ණ මානව සැකිලි ශේෂ ප‍්‍රමාණය 100කට වඩා වැඩි වේ. ඒ අතුරින් ඇඹිලිපිටියේ බෙල්ලන්බැදිපැලැස්ස (මානවයින් 30ක් පමණ), අවිස්සාවේල්ල කිතුල්ගල බෙලිලෙන (මානවයින් 12ක් පමණ), කුරුවිට බටදොඹලෙන (මානවයින් 33ක් පමණ) බුලත්සිංහල ෆා-හියන්ලෙන (මානවයින් 9ක් පමණ), සීගිරිය ආසන්නයේ පිහිටි පොතාන (සම්පූර්ණ මානව සැකිලි 2ක්) හුංගම මිණීඇතිලිය හා අත්තනගල්ල පොත්ගුල්ලෙන (මානවයින් 5ක් පමණ) යන සාධක හඳුනාගත හැකි වේ. මේ අතුරින් සමහර සාධක සම්පූර්ණ සැකිලි වශයෙන්ම අනාවරණය වන අතර බොහෝමයක් එක් එක් සැකිලිවල නැතිනම් මානවයිනට අයත් අවශේෂ වේ. මෙම මානව අස්ථි සාධක පොදුවේ සලකා බැලීමේ දී අදින් වසර 37,000 කාලයේ සිට අදින් වසර 5,400 දක්වා කාලයක් තුළ ව්‍යාප්ත වී පවතී. එ මෙන් ම වයස හෝ ස්ත‍්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂයක් දක්වා ඇති බවක් ද මේ සැකිලි සාදක තුළින් හඳුනාගත නොහැකි වේ. මෙම අස්ථි සාදක අතුරින් බෙල්ලන්බැඳිපැලැස්සෙන් අනාවරණය වූ සාධක පිලිබඳ අවධානය යොමු කිරීමේ දී එම කාලයේ පිරිමින්ගේ සාමාන්‍ය උස සෙන්ටී මීටර් 174ක් පමණ ද කාන්තාවන්ගේ සාමාන්‍ය උස සෙන්ටී මීටර් 166ක් පමණ ද වේ. මානවයින්ගේ උසේ හැටියට කොදු ඇට අසාමාන්‍ය ලෙස කෙටිවන අතර ම ගෙලෙහි වූ අක්‍ෂ කොදු ඇටය ද කෙටි විය. හිස් කබල ඝණත්වයෙන් වැඩි වන අතර ම හිස්කබල විචල්‍ය පරිමාවෙන් යුතු විය. දිගටි හැඩයක් ගත් හිස්කබල, මිටි කුහරය, පසු පසට නෙරාගිය නළල ද සහිත ය. හිස පිටුපස වූ නැම්ම පැහැදිළි ය. හකු ඇට ඝණ හා පුළුල් වෙයි. ඇස් බැම සමහර විට බර ස්වභාවයෙන් යුක්ත ය. නාස් පසුපසින් උන්නතාකාර ද මුළින් වලයාකාර ද වෙයි. සමහර වැඩුණු පිරිමීන්ගේ නාසා සිදුරේ මුල සිට උඩු උල් දත්වල මුල දක්වා දුර බෙහෙවින් වැඩි වෙයි. තල්ල විශාල ය. පුළුල් වූ හක්ක දැඩි බවත් පෙන්නුම් කරයි. දත් සාමාන්‍යයෙන් විශාල වන අතර විශේෂයෙන් ඇඹරුම් දත් විශාල ය. ගාත‍්‍රා ඇට දැඩි වේ. මෙම සාධක පොදුවේ සලකා බැලීමේ දී මෙම සාධක ඔස්ට්‍රොලොය්ඩ් වැදි ජනයාගේ ලක්‍ෂණ නීරුපණය කරයි. මෙම සාධක අනුව පෙනී යන්නේ Homo erectus මානවයාගේ ශාරිරික ලක්‍ෂණ ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයා තුළ යම් පමණකට අන්තර්ගත වී පැවති බවයි.

බලං‌ෙගොඩ මානවයාගේ රූපකාය ආචාර්ය පී.ඊ.පී. දැරණියගල දුටු ආකාරය

බෙල්ලන්බැඳිපැලැස්ස ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයෙන් අනාවරණය වූ සාධක අනුව බලංගොඩ මානවයාගේ ශාරිරික ලක්‍ෂණවලින් සමහරක් පිළිබඳ අවධානය යොමුකිරිම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසින මානවයා පිළිබඳ අවබෝධ කරගැනිමට වැදගත් වේ. ඒ අනුව පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 177 (අඩි 5. අඟල් 8) ක් හා කාන්තාවකගේ උස සෙන්ටිමීටර් 166 (අඩි 5. අඟල් 5)ක් පමණ වේ. කපාල ධාරිතාව වෙනස්වන සුළුය වන අතර පිරිමියෙකුගේ එය මිලිලීටර් 1589.72ක් පමණ ද ගැහැණියකගේ මිලි ලීටර් 919.66ක් ද වේ. පුළුල් කපාලය පැතැලි ය. නළල කැපී පෙනෙන ලෙස බෑවුම් සහිත ය. යටි හනුව වැද්දන්ට වඩා විශාල වන අතර අපර කපාල වක‍්‍රය කැපී පෙනෙන ආකාරයෙන් පිහිටා ඇත. නිකට වැද්දනට වඩා පැහැදිළි ය. මෙම මානවයින්ගේ දන්ත සාධක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඒවා සාමාන්‍යයෙන් විශාල බව පෙනී යයි. තෙ වැනි චාර්වක දත දෙ වැනි චාර්වක දත තරම් විශාල වන අතර චාර්වක දත වැද්දන්ගේ චාර්වක දතට වඩා කුඩා ය. නමුත් පුරශ්චාර්වක දත් විශාල වේ. කෘන්තක දත් සිංහලයනට වඩා කුඩා බව ද පෙනී යයි.

දිගු අස්ථි අතර ප‍්‍රගන්ඩාස්ථිය වැද්දන්ගේ ප‍්‍රගන්ඩාස්තියට වඩා දිගු හා විශාල වේ. අර අස්ථිය හා අන්වර අස්ථිය වැද්දනට වඩා විශාලය. ඝණ වූ ඌර්වස්ථිය මස්පිඩු සඳහා කැපී පෙනෙන ස්ථාන ඇත. ජංඝාස්ථිය දිගු හා බර වේ. මෙම අස්ථි සාධක අනුව උකුළ (ශ්‍රෝණිය) වර්තමාන වැදි ජනයාගේ උකුලට වඩා විශාලත්වයෙන් වැඩි ය. මෙය ඔස්ට්‍රෙලියානු ශ්‍රෝණියට බොහෝ දුරට සමාන බව ද ඒ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි. කශේරුකාවේ වූ පූර්ව කටී කශේරුකාව කුඩා ය. අක්‍ෂ කශේරුවත් එහි දන්තාකාර ප‍්‍රසරයත් පුදුමාකාර ලෙස කෙටි ය. කටී කශේරුකා විශාල ය. මේ ලක්‍ෂණ පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ නැතිනම් එහි අර්ථය වන්නේ ඔවුන්ගේ බෙල්ල කෙටි බවයි. උරපතු ඇටය වැද්දනට වඩා විශාල වේ. අත් වැද්දනට වඩා විශාල ය, මහපට ඇඟිල්ලේ අග පුරුක ඉතා ශක්තිමත් වේ. රුධිර ඝණය පිළිබඳ සිදුකළ අධ්‍යයන අනුව එක් සාම්පලයක රුධිර ඝණය AB වන අතර මෙම මානවයින්ගේ ලිංගික ද්විරූපතාව හා රූපාණුදර්ශ විවිධතාව ඉහළ වේ. මෙම සියලු සාධක පිළිබඳ අවධානය යොමුකරමින් බැලීමේ දී පෙනී යන්නේ සාමාන්‍ය වර්ගීකරණය අනුව ඔස්ට්‍රොලොයිඩ් බව නීර්ණය කළ හැකි වේ.

ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් 1956 සිට 1961 කාලය දක්වා ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලැස්ස පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ කැනීම් තුළින් පැරණි මානවයින් 20කට වඩා වැඩි පිරිසකට අයත් සැකිලි සාධක අනාවරණය කරගැනීමට සමත් විය. එම අස්ථි සාධකයන්ගේ භෞතික මානවවිද්‍යාත්මක ලක්‍ෂණ අනුව පවත්නා නූතන මානව ලක්‍ෂණ පිළිබඳව සැලකිලිමත් වෙමින් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් එම මානවයින් ‘හොමෝ සේපියන්ස් බලංගොඩෙන්සීස් දැරණියගල’ (Homo sapiens balangodensis Deraniyagala) යනුවෙන් නම් කර ඇත. බෙහෙවින් ප‍්‍රකටව පවත්නා අයුරින් ‘බලංගොඩ මානවයා’ වශයෙන් ලංකාවේ මධ්‍යශිලා මානවයා නාමකරණය වූයේ මෙම සාධක අනුව වන අතර එකී නාමකරණය ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් ලබා දුන්නක් බව ඒ විද්වතාට ගෞරව පිණිස සටහන් කළ යුතු වේ. නමුත් මේ දීර්ඝ නම පිළිගත් සම්මතයන්ට අනුව හා ඒවායේ පවත්නා භෞතික මානව විද්‍යා ලක්‍ෂණ අනුව වර්තමානය වන විට නූතන මානවයා (Modern man) හෙවත් හොමෝ සේපියන්ස් (Homo sapiens) යන පොදු නාමයෙන් හඳුන්වා දෙනු ලැබේ.

හුංගම මිණිඇතිලි‌යෙන් අනාවරණය වූ බලං‌ගොඩ මානව සැකිල්ලක්

දකුණු ආසියාතික කලාපයේ පුරාණ මානවයා හා මානව පරිණාමය පිළිබඳ විශේෂඥයෙකු වූ ඇමරිකා එක්සත් ජනපදයේ කෝනල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනත් ඒ.ආර්. කෙනෙඩි විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ශාරිරික ලක්‍ෂණ හා මානවවිද්‍යාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇත. ඔහු විසින් බලංගොඩ මානවයාගේ ලක්‍ෂණ ශ‍්‍රී ලංකාවේ ජිවත් වන ජනයා තුළ විවිධ ප‍්‍රමාණයෙන් පවතින බව පෙන්වා දී ඇති අතර ලංකාවේ දඩයක්කාර රැස්කරන්නන් වූ වැදි ජනයා අතර මෙම ලක්‍ෂණ වඩාත් පැහැදිළි බව ද දක්වා ඇත. බලංගොඩ මානවයා හා ඉන්දියාවේ සමහර ගෝත‍්‍රික ජනයා අතර සම්බන්ධතාව බලවත් බව කියනු ලැබුවත් එය වැදි ජනයා සමඟ ඇති සබඳතාව තරම් බලවත් නොවේ. වැදි ජනයා නිසැක ලෙස ජීවවිද්‍යාත්මක පරම්පරාවක් නියෝජනය කරන අතර බලංගොඩ මානවයාගෙන් වැදි ජනයා පැවැත එයි. ඒ අනුව අදින් වසර සියයකට වඩා පෙර කාලයේ දී හෙන්රි පාකර් දක්වා ඇති ආකාරයට පුරාණ කාලයේ මෙරට ජීවත් වූ යක්‍ෂ ජනයාගේ මුනුපුරන් හෙවත් වර්තමානිකයින් වැද්දන් බව මේ සාධක අනුව පෙනී යයි. බලංගොඩ මානවයා බටදොඹලෙන මානවයා සමඟ දකුණු ආසියාවේ නූතන මානවයා පිළිබඳ පැරණිම සාක්‍ෂි පෙන්නුම් කරයි.

දකුණු ආසියාතික කලාපයේ පුරාණ මානවයින්ගේ දන්ත ලක්‍ෂණ අධ්‍යයනය හා විශ්ලේෂණය කරමින් තම දර්ශනසූරි උපාධිය ලබාගත් ඩයනා හෝකී් (Diane Hawkey) විසින් ඒ පිළිබඳ සිදුකළ අධ්‍යයනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් Spolia Zeylanica ග‍්‍රන්ථාවලිය යටතේ 1998 වසරේ දී The peopling of South Asia: evidence for affinities and micro-evolution of prehistoric population of India and Sri Lanka යන උදෘතයෙන් යුතුව ප‍්‍රකාශයට පමුණුවා ඇත. ආචාර්ය සිරාන් දැරණියගල විසින් මෙම කෘතියේ දැක්වෙන කරුණු අතුරින් වැදගත්ම කරුණු සම්පිණ්ඩනය කරමින් පහත දැක්වෙන කරුණු පෙළ ගස්වා දක්වා ඇත.

  • අදින් වසර 10,000වන විට දකුණු ආසියාතිකයන් මෙම කලාපයේ පිටස්තරව ජීවත් වූ මානව කණ්ඩායම් වලට වඩා එකිනෙකා අතර ජෛවීය වශයෙන් සමානතාවක් පෙන්නුම් කරයි
  • දකුණු ආසියාවේ ශාරීරික ලක්‍ෂණ අතින් නූතන මානවයාගේ පෞරාණික ලක්‍ෂණ බලංගොඩ මානවයා නිරූපනය කරයි. ඔහුගේ දත්වලින් අග්නිදිග ආසියාවේ හා ගිණිකොණදිග යුරෝපයේ පොදු පෙළපත් තිබූ බව නිරූපණය වෙයි
  • ලෝකයේ ශාරිරික ලක්‍ෂණ අතින් නවීන මානවයාගේ මූලාරම්භය සමහර විට දකුණු හෝ ගිණිකොණදිග ආසියාවේ ඇති විය. මෙම මතයෙන් (බලංගොඩ මානවයාගේ සාධක මගින්) නූතන මානවයා අප‍්‍රිකාවේ බිහිවීම පිළිබඳ දැනට පිළිගත් මත අභියෝගයට ලක් කරයි
  • බලංගොඩ මානවයා වත්මන් මෙලනේසියන්වරු හා කිට්ටු සම්බන්ධතාවක් දක්වයි. ඊට අඩු ප‍්‍රමාණයකින් ඔස්‌ට්‍රෙලියාවේ ආදිවාසින් සමඟ සම්බන්ධතාවක් ඇත. මෙයින් පෙනී යන්නේ බලංගොඩ මානවයා මේ මානවයින් දෙ වර්ගයේම මුතුන්මිත්තෙකු වියහැකි බවකි. එකී ගෝත‍්‍රික ජනයාගේ ආදි මානවයෙකු නියෝජනය කරන බවකි
  • බලංගොඩ මානවයාගේ දන්ත ලක්‍ෂණ මධ්‍යශිලා යුගයේ ඉන්දියාවේ ජීවත් වූ මානවයිනට වඩා පැරණි ලක්‍ෂණ පෙන්නුම් කරයි
  • බලංගොඩ මානවයා වඩාත්ම සමානතාවක් දක්වන්නේ සිංහලයිනට දෙමළුනට හෝ ආසියාවේ වෙනත් මානව කණ්ඩායම්වලට වඩා වැද්දන්ට ය. කෙසේ වූවත් බලංගොඩ මානවයාට වඩා වැද්දන් සිංහලයන් හා දෙමළුන් අතරේ එකිනෙකා හා සමානතා පෙන්නුම් කරයි
  • වැද්දන් ඉතා තදින්ම සිංහලයන් හා දෙමළුන් සමඟ මිශ‍්‍ර වී ඇත. මෙම මානව කොටස් තුනම දකුණු ආසියාවේ වඩාත් කිට්ටු සම්බන්ධතාවක් පෙන්නුම් කරන්නේ දකුණු ආසියාවේ ආදිවාසීන් සමඟ ය
  • වැද්දන්ගේ කෘන්තක හා හකු දත් බලංගොඩ මානවයාට වඩා කුඩා ය. මේ සඳහා හේතු වන්නට ඇත්තේ ඓතිහාසික යුගයේ වැද්දන් මෘදු ආහාරවලට හුරු වීම වන්නට ඇත

ඉහත පෙළගස්වා ඇති කරුණු අනුව දකුණු ආසියාවේ පුරාණ මානවයින් අතරේ ලංකාව නියෝජනය කරමින් ලැබී ඇති සාධක අතිශය වැදගත් බව පෙනී යයි.

භෞතික මානව විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ගේ අධ්‍යයන අනුව නූතන මානවයා හෙවත් Homo sapians මානවයා පිළිබඳ ආසියාවෙන් ලැබී ඇති සාධක අතුරින් වැදගත් හා පැරණිම සාධක අතරට ලංකාවෙන් අනාවරණය වී ඇති සාධක අයත් බව තහවුරු වී ඇත. මේ අතුරින් හොරණ බුලත්සිංහල ෆා-හියන් ලෙන කැනීමෙන් අනාවරණය වී ඇති මානව හිස්කබල අදින් වසර වසර 31,000 කාලයට හා කුරුවිට ආසන්නයේ පිහිටා ඇති බටදොඹලෙනින් අනාවරණය වූ මානව හකු ඇටය වසර 28,000 දක්වා පැරණි වේ. ඊට අමතර ව බටදොඹලෙන නැවත වරක් 16,500, කිතුල්ගල : 12,500 හා ඇඹිලිප්ටිය ආසන්නයේ වූ බෙල්ලන්බැදිපැලැස්සෙන් අදින් වසර 6,500 පැරණි සාධක අනාවරණය වී ඇත.

මේ සියලුම සාධක අනුව ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා නියෝජනය කරමින් ලැබී ඇති බලංගොඩ මානව සාධක හෝමෝ සේපියන්ස් වශයෙන් හඳුනාගන්නා නූතන මානවයා පිළිබඳ පැරණිම සාධක අතරට අයත් වේ. මේ හා සමාන පරිපූර්ණ සාධක ඉන්දියාවේ හෝ වෙනත් සමාන්නතර රටවල් තුළින් ප‍්‍රමාණවත් අන්දමින් අනාවරණය වී නොමැත. ඒ අනුව ලෝකයේ නූතන මානවයා පිළිබඳ කථිකාවේ දී ලංකාවෙන් අනාවරණය වන මෙම සාධක ඉතා ඉහළ වටිනාකමක් හිමිකරගන්නා මෙන් ම තීරණාත්මක බව ද දැක්විය යුතු වේ.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.08.22 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

මීලඟ ලිපිය : ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා ගල් ආයුධ වර්ගීකරණය

පොළොන්නරුව ආළාහන පරිවෙණ හා තදාශ‍්‍රිත ලෝහ කර්මාන්තය (නිස්සාරණය, නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්)

ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ

පොළොන්නරුව ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව.

ප‍්‍රවේශය

ප්‍රියන්ත කුමාර මාරසිංහ

(1981 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා පොළොන්නරුව ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය කේන්ද්‍රකොට සිදුකරන ලද කැනීම්වලින් සොයාගත් ලෝහ පුරාවස්තු හා සොයාගත් ක්‍ෂේත‍්‍රයන් පිළිබඳ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකි.)

යපස්වලින් ලෝහ නිස්සාරණය කිරීමේ පටන් ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු මට්ටම දක්වා ලෝහ සකස් කරගැනීමත් පොළොන්නරුව කලාපයේ දී ම සිදු කළ බවට සාධක හමු වේ. ක්‍ෂේත‍්‍රය පුරා විසිරී යබොර සමූහයේ ඝණත්වය හා භාවිත තාක්‍ෂණික මෙවලම් සහ උපකරණවල ඝණත්වය හා කම්හල් බොරවල ඝණත්වය යන නිර්ණායක දෙකක් ඔස්සේ සිදුකරන ලද අධ්‍යයනයක නිගමනයන් මෙහි දී සාකච්ඡා කෙරේ. ඒ අනුව, ලෝහ නිස්සාරිත කර්මාන්ත ශාලා පිහිටි ප‍්‍රදේශ ආශ‍්‍රිතව බහුල වශයෙන් යබොරත් භාණ්ඩ නිෂ්පාදිත කම්හල් ආශ‍්‍රිත ව බහුල වශයෙන් ලෝහ භාණ්ඩ නිෂ්පාදනයේ දී ඉවත්වන බොර කොටසුත් සුලභව දැකිය හැකි වේ. එබඳු ක්‍ෂේත‍්‍ර 8ක් පිළිබඳව සාධක පොළොන්නරුවේ ආළාහන පරිවෙණ හා තදාශ‍්‍රිත කලාපයේ ක්‍ෂේත‍්‍රයේ මතුපිට විධිමත් ගවේෂණ මඟින් හඳුනාගත හැකි විය. ඒ ආශ‍්‍රිතව සිදුකොට ඇති කැනීම් මගින් සොයාගත් ලෝහ පුරාවස්තු සිතියම් මත ප‍්‍රතිස්ථාපනය කිරීමෙන් මෙම නිගමනයන් වඩාත් ප‍්‍රත්‍යක්‍ෂ කරගත හැකි විය.

ලෝහ නිස්සාරිත පරිශ‍්‍ර හා කම්හල්

i. කම්හල් පරිශ‍්‍රය (07057’37.67” N, 81000’16.17” E, 231 ft (AMSL))

පොළොන්නරුව ආළාහන පරිවෙණ ආරාම සංකීර්ණය මාලක කිහිපයකින් යුක්ත මළු බැමි සහිත භූමියකි. එහි භික්‍ෂු කුටි පිහිටි මාලක දෙකකි. පහළින් ම පිහිටි මාලක භූමියේ (ගෝපාල පබ්බතයට පහළින් නැඟෙනහිර) කැනීම්වලින් සොයාගෙන ඇති සාධකවලට අනුව කම්හල් පරිශ‍්‍රයක සාධක බවට අර්තකථනය කළ හැකි ය. මෙම ප‍්‍රදේශය පුරා ඝණව ව්‍යාප්ත වූ කළු පැහැති අළු සහිත පස් ස්තරයේ දී යකඩ කැබලි හා බොර විශාල වශයෙන් හමුවීම අනුව භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගත් භූමියක් බවට නිගමනය කළහැකි අතර මේවා නිෂ්පාදිත කම්හලෙන් ඉවත දැමූ ඒවා විය හැකි ය. ‘අළාහණ පරිවෙන භූමි ප‍්‍රමාණය ම සමඟ සසඳා බැලුවහොත් මෙහි හමු වූ යකඩ භාණ්ඩ ප‍්‍රමාණය අධික ය’ (පේ‍්‍රමතිලක 1995:62).

විවිධ ලෝහ භාණ්ඩවලට අමතරව විවිධ ප‍්‍රමාණවල කෝව හා කොටස් ද ප‍්‍රමාණ පුවරු ද විශාල වශයෙන් වාර්තා වී ඇත (පේ‍්‍රමතිලක 1985:9)  ආළාහණ පරිවෙන කැණීම් කොටු දැලෙහි කොටු 15ක එනම් වර්ගමීටර 13,500ක් තුළ කෝව කොටස් 211ක් වාර්තා වී ඇත. එකම ප‍්‍රදේශයකින් මෙතරම් ප‍්‍රමාණයක් වාර්තාවීම තුළ අනිවාර්යයෙන් ම ලෝහ කම්හලක් බව පිළිගත හැකි ය.

ii. කම්හල් පරිශ‍්‍රය (07057’21.38” N, 81000’10.18” E, 227 ft (AMSL))

මීට අමතරව 1990 දශකයේ කරන ලද කැනීම් හා පර්යේෂණ මඟින් පැරණි වීදිය හා රන්කොත් වෙහෙර අතර පැරණි වීදියේ බෝධිඝරයට වයඹ දෙසින් නැගෙනහිර සිට බටහිර දිශානුගතව දිවෙන මාර්ගය ආසන්නයේ කැණීම් වළවල්වල  2 සහ 3 ස්තරවලින් උඳුන් කැබලි සහ විවිධ යකඩ අවශේෂ කොටස් හමු වී ඇත (පේ‍්‍රමතිලක 1997:28). මෙම ක්‍ෂේත‍්‍රය මැණික් වෙහෙර සංකීර්ණයට උතුරු දිසාවෙන්, රන්කොත් වෙහෙරට මීටර් 300ක් පමණ දකුණු දෙසින් හා දකුණු ගොඩැල්ල ස්තූපයට බටහිරින් වාන් ඇළ ආසන්නය දක්වා පැතිර පවතී. මැණික් වෙහෙර සිට උතුරු දිසාවට විහි දී යන පැරණි මාර්ගය ආසන්නයේ මෙම ලෝකුරු කම්හල පිහිටා ඇත. මෙම ප‍්‍රදේශය පැරණි ඉදිකිරීම් රාශියක මධ්‍යගතව පිහිටා ඇත. එබැවින් යකඩ නිස්සාරණයට වඩා යකඩ උපකරණ නිෂ්පාදනය ආයුධ පණපෙවීම හා මුවහත් කිරීමට යොදාගත් කම්මලක උදුනක් යැයි සිතිය හැකි ය.

iii. කම්හල් පරිශ‍්‍රය   (07056’33.19” N, 81000’05.69” E, 231 ft (AMSL))

ඇතුළුනුවර රාජකීය පරිශ‍්‍රය තුළ පිහිටි පරාක‍්‍රමබාහු රාජමාලිගයට නැගෙනහිර දිසාවෙන් සහ රාජසභා ගොඩනැඟිල්ලට දකුණු දිසාවෙන් පිහිටි ගොඩනැඟිලි සැළසුම දැනට හඳුන්වන්නේ විජයබාහු මාලිඟය ලෙසයි. එහෙත් මෙහි වාස්තුවිද්‍යාත්මක ලක්‍ෂණ හා 2012 වර්ෂයේ සිදුකළ කැනීම් මගින් ලැබුණු සාධක අනුව ඇතුළුනුවර රාජකීය භාණ්ඩාගාර ගොඩනැඟිල්ල වශයෙන් අර්ථ දැක්වීමට හැකි විය. එහි ලැබුණු සාධක අනුව කාසි නිෂ්පාදනය මෙන්ම තඹ හා රන් ලෝහ භාවිතයෙන් කිසියම් නිෂ්පාදන ක‍්‍රියාවලියක් සිදුවූ ස්ථානයක් බව තහවුරු කරගතහැකි විය. මෙහි රන් තඹ හා යකඩ ලෝහ ආශ‍්‍රිත නිෂ්පාදන සිදු වන්නට ඇති බවත් ගොඩනැඟිල්ල තුළ නොඋස් ගල්කණු මත වූ අටුවක සාධක නිෂ්පාදන ගබඩා කිරීමට යොදාගත් ආරක්‍ෂිත ක‍්‍රමවේදයක සාධකත් දැකිය හැකිවේ.

iv. නිස්සාරිත පරිශ‍්‍රය (07057’28.17” N, 81000’22.40” E, 216 ft (AMSL))

ඇතුළුනුවර උතුරු දොරටුවේ සිට උතුරට විහිදෙන පිටනුවර කොටසේ රන්කොත් වෙහෙර දක්වා වූ පැරණි වීදියෙන් මීටර 200ක් පමණ නැගෙනහිර දිසාවෙන් වර්තමානයේ ගල්තඹරාව නමින් හඳුන්වන ගම්මානය ආශ‍්‍රිතව ලෝහ නිස්සාරිත පරිශ‍්‍රයක් වූ බවට ප‍්‍රදේශය පුරා දක්නට ලැබෙන යබොර ඝණත්වය සාධක සපයයි. භූමිය මතුපිට දැකිය හැකි තඹ ගල් හේතුවෙන් මෙම ප‍්‍රදේශයට තඹ+ගල්+අරාව යනුවෙන් භාවිත වූ අතර පසු කාලීනව ගල්තඹරාව නම පටබැඳී ඇති බව ජනප‍්‍රවාදයේ එයි. ඒ අනුව මෙම ප‍්‍රදේශයේ භූමිය මතුපිට නිරීක්‍ෂණයෙන් යබොර කොටස් විශාල වශයෙන් ප‍්‍රදේශය පුරා ව්‍යාප්තව ඇති හඳුනාගත හැකිවිය.

v. නිස්සාරිත පරිශ‍්‍රය (07058’13.23” N, 81059’43.99” E, 238 ft (AMSL))

පොළොන්නරු නගරයේ උතුරු පිට නුවරින් බටහිරට වන්නට ආළාහන පරිවෙණට මීටර 700ක් පමණ ආසන්නයෙන් බටහිර දිගින් එක් ලෝහ නිස්සාරිත ක්‍ෂේත‍්‍රයක් ලෙස හඳුනාගත හැකිවිය. ඇතුමල්පිටිය (ආනහුලුන්දාව) වර්තමාන පාසල් භූමිය ආශ‍්‍රිත ප‍්‍රදේශය පුරා මෙම සාධක හඳුනාගත හැකිය. ඇතුමල්පිටිය මුන්නියානේ වැවෙහි උතුරින් ඉස්මත්තේ වූ පරිශ‍්‍රය, විශාල ප‍්‍රදේශයක් පුරා ඝණව විසිරුණු යබොර සහිත ය. ඇතැම් තැනෙක ඝණ තට්ටු වශයෙන් ද ඇතැම් තැනෙක කුඩා කැබලි වශයෙන් කැඞීගිය යබොර කොටස් ද දැකිය හැකිය. බොහෝවිට මෙම ස්ථානය යකඩ නිස්සාරණය කිරීම සිදු වී ඇති බව මෙම මතුපිට සාධකවලින් අනාවරණය වේ. ප‍්‍රාදේශීය වශයෙන් ගත්කල පොළොන්නරුව ප‍්‍රදේශයේ යපස් දුලබ ය. ඒ අනුව මෙම ස්ථානයට යපස් මහාපරිමාණ වශයෙන් පිටතින් රැගෙන ආ බව සිතිය හැකි ය.

vi. නිස්සාරිත පරිශ‍්‍රය (07057’.153” N, 81000’.309” E, 184 ft (AMSL))

ඇතුළුනුවර උතුරු දොරටුවේ සිට උතුරට විහිදෙන පිටනුවර කොටසේ රන්කොත් වෙහෙර දක්වා වූ පැරණි වීදියෙන් නැගෙනහිර කොටසේ අංක IX ගල්තඹරාව ලෝහ නිස්සාරිත පරිශ‍්‍රයේ සිට මීටර 500 දකුණු දිසාවෙන් මෙම පරිශ‍්‍රය පිහිටා ඇත. ඇතුළුනුවර උතුරු බැම්මට මීටර 200ක් උතුරින් හා පැරණි වීදියට මීටර 200 නැගෙනහිරින් ස්ථානගතව තිබෙන භූමිය මතුපිට විශාල වශයෙන් දැකිය හැකි බොර කැබලි, ප‍්‍රමාණ පුවරු හා කෝව කැබලි මේ සඳහා සාධක වශයෙන් දැක්විය හැකිය.

vii. කාසි නිෂ්පාදිත පරිශ‍්‍රය (07056’96.45” N, 81000’09.17” E, 233 ft (AMSL))

ඇතුළුනුවර රාජකීය පරිශ‍්‍රයේ උතුරු ප‍්‍රාකාරයේ නැගෙනහිර කොටස දකුණු සීමාව ලෙසත් දළඳා චතුරශ‍්‍රය බටහිර සීමාව ලෙසත් හඳුනාගතහැකි භූමි භාගය කාසි නිෂ්පාදනය සම්බන්ධයෙන් සාධක බහුල කොටසකි. මෙම කොටසේ සිදුකළ මතුපිට ගවේෂණවල දී බහුල ලෙස හමුවූයේ කාසි නිෂ්පාදනය සඳහා ලෝහ ප‍්‍රමාණ මැනගත් ප‍්‍රමාණ පුවරුවල කොටස් ය. මේවා අනුව විවිධ අගයන් සහිත කාසි මෙම ස්ථානයේ නිපදවා ඇති බව පෙනේ. මෙම ප‍්‍රදේශයේ භූමිය මතුපිට නිරීක්‍ෂණයෙන් යබොර කොටස් විශාල වශයෙන් ප‍්‍රදේශය පුරා ව්‍යාප්තව ඇති හඳුනාගත හැකි විය.

රාජකීය පරිශ‍්‍රයෙන් හා ඇතුළුනුවරින් බැහැර උතුරු පිට නුවර මධ්‍යගතව ආරාමික ක්‍ෂේත‍්‍රය පිහිටා ඇති අතර ඉන් බැහැර පෙදෙස්වල එනම් උතුරු දිසානුගත වීදියෙහි නැගෙනහිර හා බටහිර පෙදෙස්වල සාමාන්‍ය ජනතාවගේ වාසස්ථාන හා කර්මාන්ත පරිශ‍්‍ර පිහිටි බව ක්‍ෂේත‍්‍ර ගවේෂණවල දී හඳුනාගත හැකිවිය. මෙම ජනාවාස ආශ‍්‍රිතව ව්‍යාප්තවූ ඉහත ක්‍ෂේත‍්‍ර සියල්ලෙන් ම පාහේ යකඩ නිස්සාරණයෙන් ඉවත දැමූ යබොර (හිමටයිට්) කොටස් බහුලව හමුවේ. විවිධ යකඩ උපකරණවල නිෂ්පාදිත කොටස් ද මෙයින් හමුවේ. VI ක්‍ෂේත‍්‍රය හැරුණු විට අනෙකුත් ක්‍ෂේත‍්‍ර සියල්ලෙන් ම කාසි නිෂ්පාදනය සඳහා යොදාගත් ප‍්‍රමාණ පුවරුවල කොටස් සොයාගත හැකිවිය. එපමණක් නොව කාසි නිෂ්පාදනයේ අවස්ථා නිරූපණය කරන තඹ ඵලක හා තඹ පිණ්ඩ ද සොයාගත හැකිවිය. III ක්‍ෂේත‍්‍රයෙන් තඹ බොර සහ නිස්සාරණයේ දී ඉවත් වූ තඹ කුඩා ස්ඵටික ගෝලාකාර කොටස් ද හඳුනාගත හැකි විය.

ඉහත හඳුනාගත් නිස්සාරිත කම්හල්වල නිෂපාදිත ලෝහයන්හි ගුණාත්මක භාවය හා ශිල්පීන් සතු හැකියාව පිළිබඳව හැදෑරිය හැකි සාධක කිහිපයක් ද හඳුනාගත හැකිවිය. ලෝහ නිෂ්පාදනය පිළිබඳ පරිණත දැනුමක් පොළොන්නරු යුගයේ ශිල්පීන් සතුවූ බව විවිධ ලෝහ හා සම්බන්ධ නිෂ්පාදන හමුවීමෙන් පෙනේ. කිසියම් ලෝහයක් ද්‍රව බවට පත්වන්නා වූ උෂ්ණත්වය (ද්‍රවාංක උෂ්ණත්වය) මේ අනුව ඔවුන් හොඳින් දැනගෙන සිටින්නට ඇති බව පැහැදිලි වේ. ඒ අනුව වර්තමාන ගණනය කිරීම්වලට අනුව ඒ ඒ ලෝහයන්හි ද්‍රවාංක උෂ්ණත්වය මේ ආකාර වේ. යකඩ ලෝහය ද්‍රව බවට පත් කිරීම සඳහා ඉතා ඉහල උෂ්ණත්වයක් එනම් සෙ.ගේ‍්‍ර. අංශක 1535ක් අවශ්‍ය කෙරේ. පොළොන්නරු යුගයේ භාවිත අනෙකුත් ලෝහ වර්ගවල ද්‍රවාංකය සඳහා අවශ්‍ය වී ඇත්තේ ඊට වඩා අඩු උෂ්ණත්තවයක් ප‍්‍රමාණයකි. පිළිවෙළින් ද්‍රවාංකය අනුව දැඩි ලෝහයේ සිට මෘදු ලෝහය දක්වා (1535 C0), තඹ (1083 C0), රන් (1063 C0), රිදී (961’9 C0), තුත්තනාගම් (419’6 C0), ඊයම් (327’5 C0), ටින් (231’9 C0) වේ. එතරම් ඉහල උෂ්ණත්වයක් පවත්වාගෙන යෑම සඳහා ශිල්පීන් භාවිත ප‍්‍රාදේශීය වශයෙන් සුලභ අමුද්‍රව්‍යයන් නිසැකව ම හේතු වන්නට ඇතැයි සිතිය හැකි ය. පොළොන්නරු ශිල්පීන් ඒ සඳහා බහුලවම යොදාගත්තේ රණවරා, වාය පත්බේරිය වැනි අධික උෂ්ණත්වයක් සහිත දැව අඟුරු ය. මීට අමතරව යපස්වලින් අමු යකඩ පෙරා ගැනීමේදී පොළොන්නරු ශිල්පීන් ඒ සඳහා ඔක්සීහාරක ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රාදේශීය වශයෙන් සුලභ හුණුගල් මිශ‍්‍රකොට ඇත. මෙම මිශ‍්‍රණ ප‍්‍රමාණය යපස් 4ට හුණුගල් 1 පමණ වේ. ඒ අනුව යකඩ 1.5ට 1 වශයෙන් යබොර ඉවත් වේ. මෙම තාක්‍ෂණය මගින් හෙමටයිට් හා ලිමොනයිට් යපස් උණුකරගත් බවට ඉවත දැමූ යබොරවල සංයුතිය අනුව පෙනේ.

නිස්සාරණ උදුන් තුළ ඔක්ෂීකරණ තත්වය හොඳින් පවත්වා ගැනිමෙන් භාවිත කරන අමු ද්‍රව්‍යවලින් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකිවන බව අවබෝධ කොටගත් බව පෙනේ. දැව අඟුරු දැමීමෙන් ලබාගත හැකි උපරිම උෂ්ණත්වය වන්නේ 700C0 ක් පමණි. මේ නිසා උදුන තුළ ඉහළ උෂ්ණත්වයක් රදවාගත හැකි වන්නේ ස්වභාවික වාත ධාරාවක් හෝ කෘතිම වාත ධාරාවක් වායු නල තුළිින් උදුන තුළට යැවිමෙනි. ඒ අනුව කලාපීය වශයෙන් ඇතිවන වාර්ෂික කාලගුණික රටාව තුළ ඇතිවන ඊසාන දිග මෝසම් සුළං ප‍්‍රවාහය මේ සඳහා උපයෝගී කරගත්තා ද යන්නට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් ලැබී නොමැත. නිස්සාරිත පරිශ‍්‍ර ආශ‍්‍රිතව ලැබෙන මැටි නල සහ විශාල ප‍්‍රමාණයේ කෝව හා උදුන් ආදී සාධක අනුව කෘතිම සුළං භාවිතයෙන් උදුන් තුළ උෂ්ණත්වය සමතුළිත කරගන්නට ඇතැයි සිතිය හැකිය. නිෂ්පාදන කාර්යය සඳහා සුළං ප‍්‍රවාහය උපයෝගී කරගැනීමට තරම් සුදුසු භූ පිහිටීමක් පොළොන්නරු නගරය ආශ‍්‍රිතව පිහිටි නිස්සාරිත පරිශ‍්‍රයන්ට නොමැත. වැව් භූමියට සාපේක්‍ෂව නිස්සාරිත ප‍්‍රදේශ පහතින් පිහිටීම මීට ප‍්‍රධාන හේතුවයි.

ලෝහවල ඇති ගුණාංග අවම වශයෙන් 3ක් පිළිබඳව පොළොන්නරු යුගයේ ශිල්පීන් මනා දැනුමකින් යුක්තව සිටි බව නිෂ්පාදිත සාධකවලට අනුව පෙනේ. ඒ අනුව ලෝහවල ඇති ප‍්‍රධාන තාක්‍ෂණික ගුණාංගයක් වන වාත්තුතාව හෙවත් වාත්තු කිරීමේ හැකියාව (Castability) හොඳින් අවබෝධකර ගෙනසිටි බව පැහැදිලි වේ. ලෝහ කැබලි දෙකක් එක් කිරීම හෙවත් වත්මන් ව්‍යවහාරය අනුව වෙල්ඩින් කිරීම (Weldability) සමස්ත ලෝහ වැඩවල දී සිදුකර ඇති අතර යකඩ භාවිතයේ දී කැපීපෙනෙන සාධක හමුවේ. ලෝහයක් රත්කිරීමෙන් ද්‍රව බවට පත්කිරීම පිළිබඳව මනා අවබෝධයක් විය. වර්තමානයේ ‘විලයනීයතාව’ වශයෙන් හඳුන්වන මෙය මිශ‍්‍ර ලෝහ නිපදවා ගැනීමට වාත්තු කිරීමට බෙහෙවින් ඉවහල් වේ. මෙම තත්වයන් පිළිබඳව දැනුමක් තිබූ බව පැහැදිලිවීමෙන් එවකට ලෝහ තාක්‍ෂණය ඉහල මට්ටමක පැවැති බව කිව හැකිය.

ලෝහ කර්මාන්තය සඳහා යොදාගත් විවිධ තාක්‍ෂණික උපකරණ (Equipment)

ඉහත පරිච්ඡේදවල දී පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමියෙන් මෙතෙක් අනාවරණය කරගෙන තිබූ අවශේෂයන් සැලකිල්ලට ගෙන ආරාමික ලෝහ කර්මාන්තයක් පැවති බවට තහවුරු කරගන්නට හැකි විය. ඉහත තහවුරු කිරීම සඳහා වැදගත් සාක්ෂ්‍යයන් ලෙස පහත දී විස්තර වන කෝව, උඳුන් ආදී උපකරණ හා අවශේෂයන් සැලකිය හැකි ය. පහත තොරතුරු ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ලෙසට ද හැඳින්විය හැකි ය.

කෝව (Crucibale)

ආළාහණ පරිවෙණ විශාල ගොඩනැඟිලි සංකීර්ණයකට හිමිකම් කියන හෙයින් ඒ සඳහා අවශ්‍ය වන ලෝහ ප‍්‍රමාණය අති විශාල ය. ලෝහ නිස්සාරණ කටයුතු තත්භූමියේ සිදු වූ බවට සාධක නැතත් දෙවනවර උණු කිරීම හෝ ලෝහ මිශ‍්‍ර කිරීම වැනි කටයුතු සිදු වූ බවට සාධක ලැබී තිබේ. එම නිසා ම කෝව කැබලි විශාල වශයෙන් භූමිය පුරා විසිරී පැතිරී තිබෙනු දැකිය හැකි ය.

රන් රිදී ඇතුළු වෙනත් විවිධ ලෝහ වාත්තු කිරීමේ ක‍්‍රියාදාමයට භාවිත කරන ලද කෝව විශාල ප‍්‍රමාණයක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම් මගින් පොළොන්නරුව ආළාහන පරිවෙණ ව්‍යාපෘතිය මගින් සොයාගෙන තිබේ. පොළොන්නරු යුගයේ ලෝහ කර්මාන්තය හා සම්බන්ධ උපකරණ පිළිබඳ අධ්‍යයනයේ දී වැඩි වශයෙන් ම හමු වී ඇති කෝව කැබලි ප‍්‍රධාන වේ. රන්, රිදී, තඹ, යකඩ ආදී වූ ලෝහ උණු කිරීම, මිශ‍්‍ර කිරීම ආදී කටයුතු සඳහා මෙම කෝව භාවිතයට ගෙන තිබේ. කෝව යනු ඖෂධ පිළිස්සීමට හා ලෝහ වර්ග උණු කිරීමට ගනු ලබන භාජනය යනුවෙන් සුමංගල ශබ්දකෝෂයෙහි දක්වා ඇත (සුමංගල ශබ්දකෝෂය 304). ආලාහන පරිවෙණ ව්‍යාපෘතිය යටතේ කරන ලද කැණීම්වලින් විවිධ ප‍්‍රමාණයේ හා විවිධ හැඩයෙන් යුතු කෝව විශාල ප‍්‍රමාණයක තොරතුරු අනාවරණය කරගන්නට හැකි වී තිබේ. සමකාලීන ලෝහ කර්මාන්තය පිළිබඳ ඉතාම වැදගත් සාක්ෂ්‍යයන් වී තිබේ. සිලින්ඩරාකාර හා කෙමිය සහිත ගෝලාකාර කෝව වශයෙන් ප‍්‍රධාන කොටස් 2ක් යටතේ වර්ග 12ක් හඳුනා ගැනීමට හැකිවිය.

ආළාහන පරිවෙණ සංකීර්ණයේ නැගෙනහිර පහළ මාලකයේ දෙවන ස්තරයේ කැණීම්වලින් කෝව හා ඒවායෙහි කොටස් 211 හමු වී ඇති බවට වාර්තාගත වී ඇත(පේ‍්‍රමතිලක 1985). එකම ප‍්‍රදේශයකින් වැඩිපුර කෝව ප‍්‍රමාණයක් හමුවීම අනුව මෙම කොටස කම්හල් පරිශ‍්‍රයක් වශයෙන් යොදාගත් බව සිතිය හැකි ය. මේ බව තහවුරු කරන දෙවන ස්තරයේ සිට ඝණව ව්‍යාප්ත වූ අළු හා අඟුරු තට්ටුව ඊටම සම්බන්ධ සෙසු සාධක ලෙස දැක්විය හැකිය. මෙම සිලින්ඩරාකාර කෝවවල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ උණු ලෝහ වත්කිරීම සඳහා පිහිල්ලක ආකාරයෙන් තැනුණු මුවවිටයි. පිහිල්ල රහිත කෝව ද කිහිපයක් දක්නට හැකි විය. ගැඹුරු උස කෝව වල මෙම කොටස නිසාවෙන් උණු වී වැගිරෙන ලෝහ අච්චුවකට හෝ වෙනත් අවශ්‍ය ස්ථානයකට වත් කිරීම පහසු වී තිබේ. අල්ලාගැනීම සඳහා පිටතට නෙරාගිය විශේෂ ආධාරකයක් සහ උණු ලෝහ වත් කිරීමට සකස්කළ තරමක් දිග කෙමියක් සහිත කෝව විශේෂයක් ද පොළොන්නරුවෙන් හමු වී ඇත. මේවා අපහසුවකින් තොරව අඬුවක් මඟින් කෝව හැසිරවීමටත් ද්‍රව ලෝහ සියල්ල අපතේ නොයවා අවසන් බිංදුව දක්වා ඉවත් කර ගැනීමටත් මෙහි පහසුකම් ඇත. පොළොන්නරුවෙන් ලැබී ඇති කෝව කිහිපයක ම ඇල්ලුම් ආධාරකය දැකිය හැකි ය. කෙසේ වුවත් කෝවක ඇල්ලුම් ආධාරකය කෝව එහා මෙහා ගෙනයාමටත්, උදුන මත තැබීමටත් ආදී කටයුතු සඳහා පමණක් ප‍්‍රයෝජනවත් වන නමුත් උදුන මත තබා රත් කරන ලද කෝවක් කිසිසේත් ම අතින් ඇල්ලීම කළ නොහැකි ය. ඒ සඳහා දිගු අඬු භාවිත කළ යුතු ව තිබේ. එහෙත් අනුරාධපුර අභයගිරිය භූමියෙන් ලැබී ඇති කෝවවල අල්ලා ගැනීම සඳහා ඇල්ලුම් ආධාරකයක් දක්නට නොලැබේ. දැනට ලැබී තිබෙන්නේ වැඩි වශයෙන් ම කෝව කැබලි නිසාවෙන් ඉහත තත්ත්වය හඳුනාගත නොහැකි ව තිබෙන්නට පුළුවන.

මෙම කෝව විශේෂය ලෝහ තාක්‍ෂණයේ ක‍්‍රමික වර්ධනයත් සමඟ ඇති වූ දියුණු තත්වයේ කෝව විශේෂයක් විය හැකි ය. සමස්තයක් ලෙස ගත් කල විශේෂයකින් තොරව කෝව වර්ග දෙකම භාවිතයට ගෙන ඇති බව අධික තාපයට ලක්වූ කෝවවල බාහිර පෘෂ්ඨයේ බැඳී ඇති බොරවලින් පෙනේ. විශාල ප‍්‍රමාණයේ කෝවවල සම්පූර්ණයෙන් ශේෂ වූ සාධක දක්කට නැතත් ඒවායෙහි බඳෙහි ඝණත්වය අනුව සෙන්ටි මීටර් 30ක පමණ උසකින් යුක්ත වන්නට ඇත. ශිව දේවාල අංක 2 අසලින් හමු වූ එකිකෙනට බැඳුණු ද්විත්ව කෝව විශේෂ කාර්යයක් සඳහා භාවිත වූවක් විය හැකි ය.

කෝව නිර්මාණය කිරීමට පෙර ශිල්පියා විසින් සිය අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ උණුවන ලෝහයට ඔරොත්තු දෙන අයුරින් එය සකස් කර ගන්නේ කෙසේ ද යන්නයි. එම ශක්තිය කෝවට ලබාදීමට ශිල්පියාට නොහැකි වුවහොත් කෝව ද උණු වී ගලායන්නට අවකාශ තිබේ. එහෙයින් කෝව තැනීමට ගන්නා අමුද්‍රව්‍ය ඉතා ම හොඳ දැනීමකින් යුතු ව සිදුකළ යුතු අතර වැලි, මැටි, මිනිරන් ආදී අධික තාපයට ඔරොත්තු දෙන අමුද්‍රව්‍යයන්ගෙන් කෝවක් සකස් කරගැනීමට ශිල්පියා සමත් ව තිබේ. පොළොන්නරුවේ ආළාහන පරිවෙණ භූමියේ කැණීම්වලින් අතිවිශාල ප‍්‍රමාණයක් වූ කෝව කැබලි පරීක්ෂා කිරීමේ දී ඉහත අමුද්‍රව්‍ය ඒවායෙහි අඩංගු වන බව හඳුනාගැනීම අපහසු නොවන නමුත් පියවි ඇසින් හඳුනාගැනීමට නොහැකි වෙනත් අඩංගු ද්‍රව්‍ය මොනවා දැයි පරීක්ෂා කරනු පිණිස විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට නැඹුරු විය යුතු ය.

කෝව භාවිතයෙන් ලෝහ වර්ග සුළු ප‍්‍රමාණයන්ගෙන් උණු කරගැනීමට හැකියාව ලැබෙන අතර විශේෂයෙන් මිශ‍්‍ර ලෝහ සකස්කර ගැනීම සඳහා ඉතා ම වැදගත් වේ. ලෝහයක් තනිතනියෙන් භාවිත කිරීමට වඩා තවත් ලෝහයක් හා මිශ‍්‍ර කරගැනීමෙන් ශක්තිමත් නිෂ්පාදනයක් ලබා ගත හැකි සේ ම අඩු උෂ්ණත්වයක දී උණුකර ගත හැකි වීමේ ප‍්‍රවණතාව ද හිමි වේ. තඹ, ටින් ලෝහ මිශ‍්‍රණයෙන් ශක්තිමත් ලෝකඩ නම් මිශ‍්‍ර ලෝහය නිපදවීමත් තනි රන් ලෝහයෙන් භාණ්ඩ නිෂ්පාදනය කළ නොහැකි බැවින් රිදී හෝ තඹ මිශ‍්‍ර කර ශක්තිමත් කරගැනීමත් උදාහරණ ලෙස පෙන්වා දිය හැකි ය. ලෝහවල ශක්තිය සේ ම ඒවායින් නිර්මාණයන් ගොඩනැඟීමට ඇති පහසුවත් ආකර්ශනීය නිමාවත් අපේක්ෂා කර තිබේ. මෙහි දී විවිධ ලෝහ උණු කිරීම සඳහා විවිධ ප‍්‍රමාණයෙන් සකස් කරන ලද කෝව භාවිතයට ගෙන තිබේ. රන් රිදී වැනි වටිනා ලෝහයන් නිර්මාණයේ දී වැඩි වශයෙන් ම ඉතා ම කුඩා ප‍්‍රමාණයේ මෙන් ම ඝනකමින් අඩු බිත්ති සහිත කෝව භාවිතයට ගෙන ඇත. මෙම කෝවෙහි සියුම් බව වැඩි කර තිබෙන්නේ සුළු ප‍්‍රමාණයක් හෝ ලෝහ අපතේ යාම වළක්වා ගැනීමත් අඩු පිරිවැයකින් ක්‍ෂණික ද්‍රවාංකයත් ලඟාකර ගැනීමේ අපේක්‍ෂාවෙන් විය හැකි ය. එසේ ම කෝව තුළ ඉතිරිවන ලෝහ ස්තරය ද අල්ප වන ආකාරයට ය.

ආළාහන පරිවෙණ භූමියෙන් වාර්තා වී ඇති කෝව ගණනාවක ම ලෝහ උණු කිරීමේ දී පිටතට ගලා ආ ලෝහ බිංදු දැකිය හැකි ය. ආළාහන පරිවෙණ කැණීම්වලින් ලැබී ඇති (කෝව සහිත රන් කැබලි 08/27) ඉතා කුඩා ප‍්‍රමාණයේ රත්රන් බෝල 2ක් සහිත කෝව කොටසක් මේ සඳහා දැක්විය හැකි හොඳම සාධකයකි. තවත් කෝව කිිපයක (76, 87, 120 ලේඛනගත අංක) තැනින් තැන තඹ කොටස් තැන්පත් ව ඇති හෙයින් ඒවා තඹ උණු කිරීමට යොදාගත් බව පිළිගත හැකි ය. ඇතැම් කෝවක ඉහත ආකාරයට ගලා විත් තැන්පත් වූ ලෝහ බින්දු සහ ලෝහ බොර තට්ටු ආකාරයට තැන්පත් ව ඇත. කෝව උඳුන මත තබා රත් කිරීමේ දී හෝ ලෝහ කෝව තුළ උණු වීමේ දී බොර පිට වී යයි. ඒවා වැඩි වශයෙන් ම කෝව පිට බිත්තියේ ඇලී තිබෙන්නේ ගැලවීමට ද අපහසු වන ආකාරයට ය. මෙම බොර තට්ටුව ඝණවත් ම කෝවෙහි කාර්යක්ෂමතාව බිඳ වැටේ. එවිට ශිල්පියාට තවත් කෝවක සේවය ලබාගැනීමට සිදු වේ.

යකඩ අඬු (Iron tools)

කෝව යනු ලෝහ කර්මාන්තයේ දී භාවිත වන තවත් එක් භාණ්ඩයක් පමණි. මේ සමඟ උදුන, අඬු ආදිය ද බද්ධ වී පවතී. කෝව ඇල්ලීමට භාවිත කළායැයි සිතිය හැකි දිගු යකඩ අඬු පොළොන්නරුවේ ආළාහන පරිවෙණ කැණීම්වලින් හමුවී තිබේ. දිගින් සෙන්ටිමීටර් 43ක් වන අඬුව එවැන්නකි. යමක් දැඩිව ග‍්‍රහණය කරගත හැකිසේ සකස්කළ පැතැලි තල දෙකක් සහිත අඩුව කුඩා ප‍්‍රමාණයේ කෝව ඇල්ලීමට හා මනාසේ හැසිරවීමට සරිලන සේ සකස් වූවකි. මෙම අතීත ලෝහ තාක්‍ෂණික මෙවලම් පිළිබඳ වර්තමාන ශිල්පීන්ගේ අදහස වූයේ යොදාගන්නා තක්‍ෂණික මෙවලම් හා ක‍්‍රමවේදයන් බොහෝ සේ සමාන බව යි.

උදුන් (Furness)

ආළාහන පරිවෙණ භූමිය පුරා විසිරී ඇති කෝව කැබලි ප‍්‍රමාණයත් උදුන් කිහිපයත් සැලකිල්ලට ගත් විට පැහැදිලි වන කරුණක් වන්නේ එම භූමිය තුළ වූ ලෝහ කර්මාන්තයක් පැවති බවයි. ලෝහ උණු කිරීමත් වෙනත් ලෝහ කොටස් මෙන් ම යබොර විශාල ප‍්‍රමාණයක් ද ඉහත කාරණය සනාථ කරනු ලබන සාධකයෝ ය. ආලාහන පරිවෙණ භූමි පරිශ‍්‍රයෙන් ලෝහ නිස්සාරණය කරන ලද උදුනක් සොයා ගෙන නොමැත. ස්වල්ප ප‍්‍රමාණයක් විනා විශාල ප‍්‍රමාණයන්ගෙන් ලෝහ උණු කිරීමට තනන උදුන් සකස් කරගැනීමේ භෞතික පරිසරයක් එම භූමියේ හඳුනාගැනීම අපහසු ය. අනෙක් අතට ආලාහන පරිවෙණ විහාරවාසීන් අවට පරිසරය ඉතා ඕනෑ කමින් අලංකාරවත් ලෙස ආරක්ෂා කරගත් බව භූමි නිර්මාණය හා අපද්‍රව්‍ය බැහැර කිරීම් සඳහා යොදා තිබෙන උපක‍්‍රමවලින් තහවුරු වේ. එවන් පරිසරයක් තුළ ලෝහ නිස්සාරණ උදුන් තනාගනිමින් ඔවුන් අධික පරිසර දූෂණයකට මඟ පාදාගන්නේ යැයි අනුමාන කළ නොහැකි ය. ලෝහ නිස්සාරණ උදුනකින් අධික දුමක් මෙන් ම අළු, අඟුරු වැනි අපද්‍රව්‍ය විශාල වශයෙන් නිර්මාණය වේ. ඒ අනුව දැනට පිළිගත හැක්කේ තත් භූමියට පිටත දී ලෝහ නිස්සාරණය කර දෙවන වර නිෂ්පාදනයන් පමණක් කළ බව ය.

රන්කොත් වෙහෙරට මීටර් 300ක් පමණ දකුණු දෙසින් වූ වාන් ඇළ ආසන්නයේ අනාවරණය වූ ලෝකුරු කම්මල මේ වනතෙක් ආළාහන පරිවෙණ භූමියෙන් හමු වී ඇති ප‍්‍රධාන ම වූවකි. මෙහි දී සෙන්ටිමීටර් 40ක් පමණ පරතරය සිටින ලෙසට එක පෙළට සකසන ලද උදුන් 7ක් හමු විය. උදුනක මුවවිටේ සාමාන්‍ය විෂ්කම්භය සෙන්ටිමීටර් 29කි. එහි ගැඹුර සෙන්ටිමීටර් 27කි. ගැටියේ (බිත්තියේ) ඝනකම සෙන්ටිමීටර් 1.5 සිට සෙන්ටිමීටර් 2 දක්වා වේ. මෙම උදුන් අවටින් ලෝහ බොර, යකඩ ඇණ, තඹ කැබලි, සහ කුඩා මැටි බඳුන් කිහිපයක් ද සොයා ගැනීමට හැකි විය (විද්‍යා පොත් සටහන් 1994).

මෙම උඳුන්වල නිර්මාණ සැලැස්ම ලෝහ කුඩා ප‍්‍රමාණයක් පහසුවෙන් උණු කරගැනීම පිණිස සකස් වූවකි. එය සකසා ඇත්තේ පහසුවෙන් උපරිම උෂ්ණත්වයට ළඟා වීමට හැකි වන අයුරින් ය. එසේ ම වේගයෙන් ඉහළ යන උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙසට සිලිණ්ඩරාකාර මැටි බිත්තිය සකස් කර තිබේ. උඳුනේ පහළින් ම සිදුරෙන් වාතය සපයන විට උදුන තුළ සිදුවන දහනයෙන් හටගන්නා උෂ්ණත්වය මඟින් මුවවිටේ තබා ඇති කෝව ගිනියම් වී ලෝහ උණු වීම සිදු වේ. මයින හමක් වැනි උපකරණයක් භාවිතයෙන් කෘති‍්‍රම ව වාතය ලබාදීමට කටයුතු කර තිබේ. සීමිත ඉඩ ප‍්‍රමාණයක හා සරල ආකාරයට මෙම උඳුන නිර්මාණය කිරීමට ශිල්පීන් සමත් ව තිබේ. මෙවැනි ම ප‍්‍රමාණයේ උඳුන් කිහිපයක් ම අනුරාධපුර අභයගිරි භූමියේ කැනීම්වලින් අනාවරණය වී තිබේ. පංචාවාස ගොඩනැඟිලි කීපයක සීමා ප‍්‍රාකාරයේ ඇතුළු පැත්තේ මෙවැනි උදුන් හමු වී ඇත. මෙයින් පෙනී යන්නේ ඉහත ගොඩනැඟිලිවලට අවශ්‍ය කරන ඇණ ආදී උපකරණ ඒ අසල ම තනාගත් බවක් දැයි තවදුරටත් විමසිය යුතු ය. උඳුන සඳහා සුළං සපයන ලද ආකාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක නොමැති වුවත් මයින හම (මඩනා සම – සද්ධර්මරත්නාවලිය : 196, රුවන්මල් නිඝණ්ඩුව : 295, අර්ථශාස්ත‍්‍රය : 228, 216) වැනි උපකරණ පිළිබඳව තත්කාලීන සාහිත්‍ය මූලාශ‍්‍රයවල සාක්ෂ්‍ය අනාවරණය වී නැත.

ප‍්‍රමාණ පුවරු (Measuring  Plates)

කිසියම් නිෂ්පාදනයක් සඳහා හෝ ඊට සරිලන ලෝහ ප‍්‍රමාණය මැනගත් ප‍්‍රමාණ පුවරු බහුලව පොළොන්නරුවෙන් හමුවේ. මෙතෙක් ක්‍ෂේත‍්‍රයෙන් බහුලව හමුවූ අංක 3 සහ 4 යටතේ පහත විස්තර කෙරෙන ප‍්‍රමාණ පුවරුවලට වඩා වෙනස් ප‍්‍රමාණවලින් යුත් පුවරුවල කොටස් කිහිපයක් ආරාමික පරිශ‍්‍රයෙන් බැහැරව සොයාගත හැකිවිය. අංක 1 සහ 2 යටතේ මේවා පිළිබඳ විස්තර දැක්වේ. මෙම පුවරු ප‍්‍රමාණයෙන් විශාල වේ. මෙයින් නිපදවනු ලබන ලෝහ පිණ්ඩය තරමක් විශාලවන අතර වැඩි ලෝහ ප‍්‍රමාණයක් ඊට අන්තර්ගත වේ. ප‍්‍රමාණ පුවරු බහුල වශයෙන් හමුවීම තුළ මේවා කවර නම් නිෂ්පාදනයක් සඳහා උපයෝගී කරගත්තේ ද යන්න ගැටලුවක් විය. ආසන්න වශයෙන් හෝ බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් සඳහා යොදාගත් බව පැහැදිලි ය. බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් ලෙස මෙතෙක් හමු වී ඇත්තේ කාසි සහ ඒවායෙහි අනුකොටස් පමණි. ඒ අනුව මෙම ප‍්‍රමාණ පුවරු කාසි නිෂ්පාදනය සඳහා ම යොදාගත් තාක්‍ෂණික උපකරණයක් බව කිව හැකිය.

ප‍්‍රමාණ පුවරුවලින් මැනගත් ලෝහ පිණ්ඩවලින් නිෂ්පාදනය කළ මස්ස කාසි සහ අක මස්ස කාසි සඳහා වෙන වෙන ම සකස්වූ බවට සාධක පොළොන්නරුවෙන් බහුලව හමු වී තිබේ. එහෙත් විශාල ප‍්‍රමාණ පුවරුවලින් ලබාගත් ලෝහවලින් කළ කාසි මෙතෙක් හමු වී නොමැති තරම් ය. මේවායෙහි අන්තර්ගත ලෝහ ප‍්‍රමාණයට සාපේක්‍ෂව බැලූවිට චීන කාසියක ලෝහ ප‍්‍රමාණයට සරිලන තරම් වේ. මේ අනුව චීන කාසි නිෂ්පාදනයත් පොළොන්නරුවේ සිදු වූයේ ද යන්න සිතා බැලිය යුත්තකි.

ප‍්‍රමාණ පුවරු 1

මෙහිදී හමු වූ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 12ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 25ක් හා මතුපිට මිලිමීටර් 30ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 30කි. සම්පූර්ණයෙන් ශේෂ සාධක සහිත මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවක පෙළකට දහය බැඟින් වූ පේළි දහයකින් යුත් කුහර සියයකින් යුක්ත වේ. එම පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්තවූයේ නම් එහි දිග පළල සෙන්ටිමීටර් 42 X 42 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු 2

මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 17ක් හා මතුපිට මිලිමීටර් 23ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්තවූයේ නම් එහි දිග පළල සෙන්ටිමීටර් 38 X 38 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු 3

මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 13ක් හා මතුපිට මිලිමීටර් 17ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මෙම පුවරුවක් කුහර සියයකින් යුක්තවන අතර එහි දිග පළල සෙන්ටිමීටර් 23 X 23 තරම් වේ.

ප‍්‍රමාණ පුවරු 4

මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 5ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 6ක් හා මතුපිට මිලිමීටර් 11ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 18කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්තවූයේ නම් එහි දිග පළල සෙන්ටිමීටර් 16 X 16 තරම් විය යුතු ය.

පොදුවේ ගත් කළ පුවරු නිෂ්පාදනයේ දී අනුගමනය කර ඇත්තේ සාමාන්‍ය ක‍්‍රමවේදයකි. පුවරුවල චතුරශ‍්‍රාකාර හැඩය ලී පතුරු ආධාරයෙන් ලබාගෙන ඇති අතර අභ්‍යන්තර කුහර සඳහා ද වෘත්තාකාර ලීයක ආධාරයෙන් තබාගත් බව පෙනේ. පුවරුවේ ඝණත්වය එහි අන්තර්ගත කුහරයේ මතුපිට විෂ්කම්භය හා ලෝහ ධාරිතාවයට අනුව එකිනෙකට වෙනස් වේ. එහි මතුපිටට නෙරාගිය කොටස් ඇඟිලි මගින් තෙරපීමෙන් සමතුලිත කරගත් ලකුණු දැකිය හැකි ය.

සමස්තයක් ලෙස ගත්කල මෙම පුවරු කාසි නිෂ්පාදනය සඳහා උපයෝගී කරගත්තේ ද නැතහොත් වෙනත් කාර්යයක් සඳහා යොදාගත් ඒවා ද යන්න පිළිබඳ නිශ්චිත සාධක මෙතෙක් හමු වී නොමැත. තඹ මස්ස කාසි නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණ ගැනීමේ දී මෙවැනි ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නට ඇති බව සිතිය හැකිය. මේ තුළින් නිෂ්පාදිත ලෝහ පිණ්ඩවල බර අනුපාතය තඹ කාසිවල විවිධ කොටස්වල අනුපාතයන්ට සමාන ය.

කම්හල් ආශ‍්‍රිතව භාවිතා වූ තාක්‍ෂණික ක‍්‍රමවේද

කම්මල් තාක්‍ෂණය : ලෝහ භාවිතයෙන් කම්මලෙහි කෙරෙන සියලුම කාර්යයන් කම්මල් වැඩ වශයෙන් හැඳින්විය හැකි ය. එකී කාර්යයන් බොහොමයක් ඉටුකළයුතු වන්නේ ලෝහය රත්කිරීම හෙවත් ගිනියම් කිරීම මගිනි. රත්කරන ලද ලෝහ කැබලි කිණිහිරිය මත තබා මිටියම් කොට තලා හැඩ ගැන්වීමත් රත් පිළියම් කිරීමත් කම්මලක බහුල වශයෙන් කෙරෙන කාර්යයන් වන අතර එකී කාර්යයන් පොදුවේ හඳුන්වනු ලබන්නේ කම්මල් වැඩ යනුවෙනි. මෙම ක‍්‍රමවේදය කම්මල් තාක්‍ෂණය වශයෙන් ද හැඳින්විය හැකි ය. කම්මල් තාක්‍ෂණයෙන් නිෂ්පාදිත උපකරණ හඳුනාගත හැක්කේ භාණ්ඩයක පෘෂ්ඨය මත පෑස්සුම් හා තැලුම් පහරවලිනි. බොහොමයක් උපකරණවල එකිනෙක මත තබා මිටියෙන් තැලීමෙන් සම්බන්ධ කර ගත් කම්මල් පෑස්සුම හෙවත් ගිනි පෑස්සුම් සලකුණු දැකිය හැකි ය. මේ අයුරින් පෑස්සීමට නම් මෘදු වානේ 12,000ක්‍ පමණ උෂ්ණත්වයක් දක්වා ගිනියම් කළයුතු බව වර්තමාන ඉහල කවුඩුල්ල නිම්නයේ කම්මල් ශිල්පීන්ගේ අදහසයි. කම්මල් පෑස්සීමේ දී රත් කරනු ලැබූ ලෝහය උඳුනෙන් ඉවතට ගත් වහාම තැලීම ආරම්භ කළයුතු බවත් කිණිහිරිය මත තබා තැලීමේ දී ලෝහය නියමිත උෂ්ණත්වයක පැවැතිය යුතු බවත් පෑස්සුම් මූට්ටුව ගැල වී ගියහොත් එම දෙකෙළවර කපා ඉවත් කිරීමෙන් අනතුරුව නැවත වරක් ගිනියම් කොට පෑස්සීම කළ යුතු බවත් ඔවුන්ගේ අදහසයි. (පොළොන්නරුව දිවුලන්කඩවල කවුඩුල්ල පහළ නිම්නයේ සාම්ප‍්‍රදායික කම්මල් ශිල්පීන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 2011).

ප‍්‍රතිවර්තනය (Revert) කිරීම මඟින් පෘෂ්ඨ දෙකක් ඒකාබද්ධ කිරීම පිළිබඳ සාධක යකඩ පුරාවස්තු සංචිතය අධ්‍යයනයේ දී බහුලව දැකගත හැකි විය. විශේෂයෙන් යවුල්, හෙල්ල, කැති, පිහි වැනි දැවමය මිටකට සවි වූ උපකරණ එකිනෙක හරහා යන පරිදි පසාරු විදමනකින් පසුව ගිනියම් කළ යකඩ කූරක් දමා පිටත පෘෂ්ඨයන් දෙක තැලීමෙන් ප‍්‍රතිවර්තනය කර තිබෙනු දැකිය හැකි ය. මෙය කම්මල් තාක්‍ෂණයේ උච්චතම අවස්ථාවකි.

පොළොන්නරු යුගයේ බොහොමයක් නිර්මාණ සඳහා කම්මල් තාක්‍ෂණය උපයෝගී කරගත් බවට සාධක පවතී. කැති පිහි ආදියෙහි මිට කොටස් සකස් කිරීමේ දී යොදාගත් බෙර කොටස නිර්මාණය කිරීම සඳහා කම්මල් තාක්‍ෂණය ප‍්‍රධාන වශයෙන් යොදාගෙන තිබේ. කඩු, කිණිසි, හෙල්ල ආදියෙහි මිට සඳහාත් මෙම තාක්‍ෂණයෙන් කළ කොටස් යොදාගෙන ඇති බව පෙනේ. අවි ආයුධයන්හි පන්නරය ලබා ගැනීම සඳහා ජල පිළියම් කි‍්‍රයාවලිය ආධාරයෙන් වානේ ශක්තිමත් කිරිමේ කලාව පිළිබඳව මනා දැනුමක් පොළොන්නරු යුගයේ ශිල්පීන් සතු වූ බව පැහැදිලි කරගත හැකිවිය.

පොළොන්නරුවේ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම්වල දී විශාල දායක්වයක් දැක්වූ වඩු කාර්මිකයන් පරිහරණයට ගත් උපකරණ අතර අඬුව, පීර, නියණ, සරනේරුව, විදින කටු, අල්ලුව, මිටිය, වොෂරය (තරඇණ) වෑය වැනි කම්මල් තාක්‍ෂණයෙන් නිමවන ලද උපකරණ පොළොන්නරුවෙන් හමු වී ඇත. මෙම උපකරණ අතර කම්මල් තාක්‍ෂණය පිළිබඳ ද්‍රව්‍යමය සාධක රාශියක් ශේෂව ඇත. දොරවල් හා සම්බන්ධ යතුරු කටවල්, අල්ලු, ලී මූට්ටු සඳහා භාවිත කර ඇති පට්ටම්, දොර අගුලු සහ උසස් තාක්‍ෂණික ලක්‍ෂණ පෙන්නුම් කරන උපකරණ ද ලැබී ඇත. බිත්තිවල සිදුරු විද ඒ තුළට දැමීමෙන් පසු නොඇදෙන ලෙස සැකසූ ඇණ වර්තමානයේ භාවිත කරන ඇතැම් උපකරණවල තාක්‍ෂණික උපයෝගීතාවට හාත්පසින් ම සමාන ප‍්‍රයෝජන සඳහා යොදාගත් බවට සාධක ඇත. මීට අමතර ව යකඩ ලෝහයෙන් තනන ලද විවිධ ප‍්‍රමාණයේ නියන් ගණනාවක් ම වාර්තා වී තිබේ. මෙම නියන් වාස්තුවිද්‍යාත්මක නිර්මාණයන්හි දැවමය උළුවහු ජනෙල් වැනි කොටස් නිර්මාණය සඳහා යොදාගත් ඒවා විය යුතු ය.

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ ඊට නොදෙවැනි දායකත්වයක් දැක්වූ පෙදරේරු කර්මාන්තය සතු විවිධ ප‍්‍රමාණයේ හා හැඩයේ යකඩ උපකරණ වන මේසන් හැඳි, පොයින්ට් හැඳි, කැටයම් හැඳි පිළිබඳ සාධක ද ලැබී ඇත. ශිලා කර්මාන්ත කරුවන්ගේ උපකරණ ලෙස හඳුනාගත හැකි ගල්කටුව, මිටිය, ප‍්‍රතිමා නිර්මාණයේ නිරත වූ කැටයම් ශිල්පීන් විසින් භාවිත කළ ලඹ (ලඹතටුවට අයත්) වැනි උපකරණ සහ ගොඩනැඟිලිවල බාහිර අලංකරණ කැටයම් නිර්මාණය සඳහා යොදාගත් කැටයම් හැඳි ද හමුවීම අනුව දියුණු වාස්තුවිද්‍යාත්මක තාක්‍ෂණයක් පැවැති බව පෙනේ.

සමස්තයක් ලෙස ගත්කල මේවා නිර්මාණය කරගෙන ඇත්තේ සාමාන්‍ය කම්මල් තාක්‍ෂණය හා වාත්තු තාක්‍ෂණය යන ක‍්‍රමවේදයන් මගිනි. කැටයම් සඳහා යොදාගත් සියුම් තලය සහිත කුඩා හැඳි තැලීමෙන් සාදාගත් අතර එහි මිට කොටස යකඩ පතුර තැලීමෙන් පසු බටයක් සේ රවුම් කර ඇත. ප‍්‍රමාණයෙන් ඊට මදක් විශාල වූ මේස හැන්දක තරම් වූ හැඳි වාත්තු තාක්‍ෂණයෙන් නිමවා ඇති බව පෙනේ. යකඩ වැඩි ප‍්‍රමාණයක් සහිත ඝණ උපකරණ, මිටි, ලඹ වැනි දෑ වාත්තු තාක්‍ෂණයෙන් නිමවා ඇති අතර ඒවායෙහි ද මිට සවිවන බෙරය කොටස බොහෝ විට පැතැලිවන සේ තලා රවුම් කොටගත් බවත් ඇතැම්විට පෑස්සුම් ලකුණුත් පෙනේ. වෑ තල, පොරෝ තල නිර්මාණයේදීත් මූලික හැඩය වාත්තු තාක්‍ෂණයෙන් නිමවා ඇති අතර පසුව මුවහත් ගැන්වීම සඳහා කම්මල් තාක්‍ෂණය උපයෝගී කොට ගෙන තිබේ.

වාත්තු තාක්‍ෂණය

වාත්තු ක‍්‍රමයේ දී ලෝහ භාවිතයෙන් ප‍්‍රතිමා, උපකරණ හෝ වෙනත් යමක් නිර්මාණය කිරීම සඳහා අනිවාර්යයෙන් ම ද්‍රවාංකය ඉක්මවනතුරු රත් කිරීම සිදු කළ යුතු ය. අනතුරුව මැටියෙන් කළ අච්චුවකට ද්‍රව ලෝහ වත් කිරීමෙන් ඝණ හෝ සුසිර ක‍්‍රමයට අනුව මූර්තියක් හෝ උපකරණයක් නිෂ්පාදනය කිරීම වාත්තු තාක්‍ෂණයේ ප‍්‍රධාන ලක්‍ෂණය වේ. ඒ අනුව නිර්මාණය කිරීමට අපේක්‍ෂිත නිර්මාණයේ පූර්වාදර්ශයක් ශිල්පියාට දැකිය හැකි අතර එහි දී අඩුපාඩු සකසා ගැනීමට අවස්ථාවක් ලැබේ. එබැවින් සමස්ත නිර්මාණය පරිසමාප්ත ආකාරයෙන් නිෂ්පාදනය කිරීමට හැකිවීම වාත්තු තාක්‍ෂණයේ විශේෂත්වයයි.

මෙම ක‍්‍රමවේදය පොළොන්නරු යුගයේ බහුලව භාවිත කොට ඇත්තේ තඹ මිශ‍්‍ර ලෝහ නිෂ්පාදනයේ දී ය. ඉන් ලෝකඩ නිර්මාණ ප‍්‍රධාන තැනක් ගනී. පොළොන්නරු යුගයට අයත් ලෝකුරු කර්මාන්තයේ බෙහෙවින් සිත්ගන්නා සුළු නිර්මාණය වන්නේ ලෝහයෙන් විශිෂ්ට ලෙස තනා ඇති හින්දු දෙවිවරුන්ගේ රූපයි. පොළොන්නරුවේ හින්දු දේවාල ආශ‍්‍රිත කැණීම්වලින් සොයාගත හැකි වී ඇත. වාත්තු කරන ලද විවිධ ප‍්‍රමාණයේ හින්දු මූර්ති ප‍්‍රධාන වේ. මේ රූපවල අංග ලක්‍ෂණ හා විලාශයන් කෙතරම් ස්වභාවික අයුරින් නිරූපණය කොට තිබේ ද යත් ලෝහයෙන් රූප තැනීමේදී එම ලෝහය දක්‍ෂ අන්දමින් හැසිරවීමට හා ඉන් රූප තැනීමට කලා ශිල්පීන් නිසි ලෙස දැනසිටි බව පෙනේ. මේ ගණයට අයත් පොළොන්නරුවෙන් හින්දු ලෝකඩ ප‍්‍රතිමා ගණනාවක් බෙල් මහතාගේ කැණීම්වලින් 1907 වර්ෂයේ දී සොයාගෙන තිබේ (ASCAR 1908:74).

ලෝකඩ ප‍්‍රතිමා නිර්මාණය සඳහා යොදාගනු ලැබූ ශිල්ප ක‍්‍රමය ‘ඉටි මැකුම්’ ක‍්‍රමය ලෙස හැඳින් වේ (තාපර් 1973:217). ලෝහ මූර්ති නිර්මාණය සඳහා ඉන්දියානුවන් යොදාගත් මෙම ක‍්‍රමෝපාය පොළොන්නරු යුගයේ ලෝකඩ ප‍්‍රතිමා නිර්මාණය කිරීමේ දී යොදා ගන්නට ඇතැයි සිතිය හැකි ය. ඝන හා සුසිර යන ක‍්‍රම දෙක අතුරින් සුසිර ක‍්‍රමය පැහැදිලි ලෙස ම වඩා නිරවද්‍ය ක‍්‍රමය සේ සලකා තිබේ. පැරණි ලෝකඩ වාත්තු ශිල්පියා ඉටි අච්චුව සකස් කළේ වර්තමාන ශිල්පීන් මෙන් පළමුව මැටි අච්චුවක් නිමවීමෙන් නොවේ. ඔහු සිය ඉටි අච්චුව එක් වර ම සකස් කළේය. සියලුුම විස්තර සියුම් ලෙස ඉටිවලින් සෑදූ ආකෘතියකට අන්තර්ගත කොට අනතුරුව යකඩ දැලක් හෝ යකඩ කූරු සමග එය මැටි ආලේපයකින් ශක්තිමත් කරන ලදි. මැටි අලේපයේ සියුම් සිදුරු සකස් කරන ලද්දේ දහනයේ දී උණුවන ඉටි පිටතට ගලා ඒම සඳහා ය. පිළිස්සීමට ප‍්‍රථම ආකෘතිය මැනවින් වේලෙන්නට ඉඩ හැරිණි. එලෙස අවසන් කෘතියේ සාර්ථකත්වය හා නිරවද්‍යතාව කලාකරුවාගේ දීර්ඝ අත්දැකීම මත පදනම් විණි (පේ‍්‍රමතිලක 1995:2).

ප‍්‍රතිමා වාත්තු කරනු ලබන්නේ ලෝකඩවලින් හෝ පිත්තලවලින් නම් ඉටිවල බර ප‍්‍රමාණය මෙන් දශ ගුණයක් ද රිදියෙන් නම් 16 ගුණයක් ද ලෝහ යෙදීමට ශිල්පියා සැලකිලිමත් විය යුතුය. විශාල ප‍්‍රතිමාවක් ඇතුළත කුහර සහිතව හෝ බර අඩු බදාමයකින් හෝ යුක්තව නිම කරන ලද්දේ ලෝහ සඳහා යන වියදමත් බරත් අඩු කිරීම සඳහා ය (වත්තල 1962:85). වාත්තු කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගනු ලබන ඉටි අච්චුව සාදන ලද්දේ මැටි, ලුණු සහ දහයියා අළු එකට අඹරා පුලුන් සමඟ මිශ‍්‍රකරගත් බදාමයක් ඇතුළුවන පරිදි ය. ප‍්‍රථමයෙන් අවශ්‍ය මූර්තිය අංගෝපාංග සහිතව ඉටිවලින් නිර්මාණය කෙරෙයි. දෙවනුව ඒ වටා පදම් කර සාදාගත් මැටිවලින් බාහිර තට්ටුවක් ඇතිවන සේ තනා ගත් මැටි අච්චුව වියලුණු පසු ගින්නෙන් රත් කරයි. එවිට මැටි අච්චුව තුළ මූර්තිය උණු වී ගොස් මූර්තියට සමාන හිස් අවකාශයක් ඇති වේ. අනතුරුව උණුකරගත් ලෝහ මිශ‍්‍රණය කුහරය තුළට වත්කරනු ලැබේ. ලෝහමය මිශ‍්‍රණය නිවීගිය පසු බාහිර මැටි තට්ටුව කඩා ඉවත් කිරීමෙන් අභ්‍යන්තර ලෝහමය මූර්තිය සාදාගන්නා අතර වාත්තු කරන ලද මූර්තියේ අඩුපාඩු සාදාගනු ලැබේ (පේ‍්‍රමානන්ද 119).

ලෝකඩවලින් මූර්ති තැනීමට ශිල්පීන් වැඩි කැමැත්තක් දක්වන්නට ඇත්තේ මිශ‍්‍ර ලෝහ තැනීමේ දී අඩු උෂ්ණත්වයක දී උණු කරගැනීමට ඇති හැකියාව නිසා අච්චුවලට වත්කර පහසුවෙන් ශක්තිමත් මූර්තියක් සකස් කරගැනීමට ඇති හැකියාව නිසා විය යුතු ය. නමුත් ඒවා තැනීමට යොදාගන්නා ලද අච්චුවක් හෝ වෙනත් උපකරණයක් ඍජුව ම මෙතුවක් අනාවරණය වී නොමැත. හමු ව ඇති සියලු ම මූර්ති පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමියේ දී ම තනන ලද බව තහවුරු නොවූවත් එයින් සමකාලීන සමාජයේ පැවැති ලෝහ කර්මාන්තය පිළිබඳ අධ්‍යයනයට මඟ පාදා ගත හැකි ය.

ලෝකඩ භාවිතයෙන් කළ උපකරණවල නිර්මාණ තාක්‍ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ද තාක්‍ෂණික ක‍්‍රමවේද දෙකක සාධක සංයුති පරීක්‍ෂාව හා සමීප නිරීක්‍ෂණය මගින් හඳුනාගත හැකි විය. ඒ අනුව සිරිනිමල්හා ලක්දුසිංහයන් විසින් ඉස්මතුකොට ආචාර්ය අර්ජුන තන්තිලගේ විසින් තහවුරු කළ ලාංකේය ගුරුකුලය සම්බන්ධයෙන් කිසියම් අදහසක් ඇති කරගත හැකි සාධක ලෝකඩ උපකරණ නිෂ්පාදන තාක්‍ෂණය තුළ ද පවතී.

සිරිනිමල් ලක්දුසිංහ විසින් හඳුනාගන්නා ලද එකම මූර්තියකට අයත් ශිව පාර්වතී දෙදෙනාගේ ප‍්‍රතිමාවන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ ආචාර්ය අර්ජුන තන්තිලගේ විසින් සිදුකොට ඇත (Thanthilage 2010). දක්වන ලද අදහස් හා නිගමන පොළොන්නරුවේ ලෝකඩ පුරාවස්තු සම්බන්ධයෙන් වැදගත් සාක්‍ෂ්‍ය වේ. ප‍්‍රධාන වශයෙන් මෙම ප‍්‍රතිමාවල අඩංගු මූලද්‍රව්‍යවල සංයුතියේ ප‍්‍රතිශතය හා ඊයම් සමස්ථානිකය විශ්ලේෂණය කිරීම සහ විසුරුම් සටහන ඇඳිම සමීප සංසන්දනය මගින් මෙම අධ්‍යයනයක් සිදු කර ඇත. පොළොන්නරුවේ හින්දු ප‍්‍රතිමාවල ප‍්‍රධාන මූලද්‍රව්‍යයේ සංයුතිය සහ ශිව සහ පාර්වතී ප‍්‍රතිමාවල අඩංගු මූලද්‍රව්‍ය අංශු අනුව නිෂ්පාදන තාක්‍ෂණයේ සහ ලෝහයේ සමාන බව දෙකේම පෙනෙන්නට ඇත. පිළිම දෙකේම ආසනවල සංයුතියේ පැහැදිලි වෙනසක් දැකිය හැකි ය. ප‍්‍රතිමාවල අඩංගු ඉහළ ටින් සහ පහළ ඊයම් ප‍්‍රමාණය අනුව අඩංගු මූලද්‍රව්‍ය අංශුවලත් වෙනසක් දැකිය හැකි ය. ශ‍්‍රී ලංකාවෙන් හමු වූ බොහොමයක් හින්දු ප‍්‍රතිමාවල (අධ්‍යයනයට ලක්කළ 17න් 10ක්ම)  Co/Ni අනුපාතය 0.28 – 0.35 අතර වේ. මෙම ප‍්‍රමාණය දකුණු ඉන්දීය කල්යාඩි බොරවල සාමාන්‍යයට එනම් Co/Ni 0.33 සමාන ය (Sirinivasan 1999:209). එනිසා හින්දු ප‍්‍රතිමා කිහිපයක් හෝ දකුණු ඉන්දියාවෙන් ගෙන්වා හෝ ලෝහ ගෙන්වා සෑදූ බව සිතිය හැකි ය.

ගණේෂ ප‍්‍රතිමාව ශිව පාර්වතී ප‍්‍රතිමාවලට ඉතාම සමාන කමක් දක්වයි. ඒ අනුව මෙම ප‍්‍රතිමා 3ම මූලය සමාන විය හැකි ය. මේ පිළිබඳ කලා ඉතිහාසානුකූල අධ්‍යයනයක් කළ ලක්දුසිංහ මෙම ගණේෂ ප‍්‍රතිමාව ශ‍්‍රී ලාංකික හින්දු ප‍්‍රතිමා ගුරු කුලයකට අයත් වියහැකි බව ප‍්‍රකාශ කරයි. මාගේ විද්‍යාත්මක අධ්‍යයනයෙන් මෙම හින්දු ප‍්‍රතිමා සේරුවිල තඹවලින් නිර්මාණය කර ඇති බවත් එවැනි ශ‍්‍රී ලාංකේය ගුරුකුලයක් තිබූ බවත් තහවුරු කරගත හැකි විය (Thanathilage 2010).

සම්ප‍්‍රදායයන් දෙකෙහි වෙනස ප‍්‍රතිමා පෘෂ්ඨයන්හි පැහැදිලිව දක්නට හැකි ය. දීප්තියකින් තොර (Mat) පෘෂ්ඨය සහිත ප‍්‍රතිමා පැහැදිලි ව ම භාරතීය සම්ප‍්‍රදායට අයත් ඒවා වේ. ඒවායෙහි මුහුණුවල හැඩය හා අනෙකුත් කලාත්මක ලක්‍ෂණවල මෙම වෙනස දැකිය හැකි වේ. ලාංකේය සම්ප‍්‍රදායට අයත් ප‍්‍රතිමා සිනිදු පෘෂ්ඨයක් සහිත ය. ඒවායෙහි මුහුණුවල හැඩය හා අනෙකුත් කලාත්මක ලක්‍ෂණවල පැහැදිලි ඒකාකූල බවක් දැකිය හැකි ය. රවුම් මුහුණ පටු නළල් තලය හා දිගු නාසය ලාංකීය සම්ප‍්‍රදායයේ ලක්‍ෂණ ලෙස මෙම අධ්‍යයනයෙහි ලා හඳුනාගත හැකි විය.

විශේෂයෙන් සඳහන් කළ හැක්කේ පොළොන්නරුවේ ලෝකඩ පහන් ආධාරක හෙවත් දීපාධාර නිර්මාණයේ දී ද ඉටි මැකුම් ක‍්‍රමය ම යොදාගෙන ඇති බවත් එහි විවිධ තාක්‍ෂණික ක‍්‍රමවේද හා අවස්ථා පෙන්නුම් කරන බවයි. එය විශේෂ නිර්මාණ තාක්‍ෂණයකි. ආධාරක කුළුණට ශක්තිමත් ආධාරකයක් ලෙස යකඩ ලෝහයෙන් කළ කූරක් ආධාරකයේ උස පමණට ගනී. ඒ මත මැට්ටෙන් කරන ලද පහනේ දළ හැඩයක් සහිත මාරමක් තනා ගෙන ඇත. වෘත්තාකාර කඳක් සහිත නිර්මාණවල දී සියුම් මැට්ට මත බොරදම් හා හැඩතල ලියවන පට්ටලයක ආධාරයෙන් ලියවීමෙන් පසු නිර්මාණය කිරීමට අපේක්‍ෂිත පහන් ආධාරකය පිළිබඳ පූර්ව හැඩය නිර්මාණය කරගත් බව පෙනේ. පසුව ඒ මත ඉටි තට්ටුව තුනී වන සේ අලවා ඒ මත ලියවන පට්ටලයක ආධාරයෙන් නැවත බොරදම් ලියවා ඇත. අනතුරුව ඒ මත සියුම් මැට්ටේ සිට ක‍්‍රමයෙන් මැටි තට්ටු ආලේපකොට ශක්තිමත් අච්චුවක් නිර්මාණය කරගෙන තිබේ. චතුරශ‍්‍රාකාර ආධාරක නිර්මාණයේ දී මෙම ක‍්‍රමවේදය ම අනුගමනය කර ඇතත් බොරදම් පට්ටලයක ආධාරයෙන් නිමවා නොමැති අතර ඒවා අතින් හැඩගන්වන ලදි.

මෙම ක‍්‍රමවේදයට අනුව නිර්මාණ ශිල්පියාට ස්වකීය නිර්මාණයේ අවසන් ප‍්‍රතිඵලය පිළිබඳ පූර්ව ආකෘතියක් දැකගැනීමටත් ඒ අනුව එහි අඩුපාඩු සකසා ගැනීමටත් ද අවස්ථාවක් ලැබේ. එමෙන්ම අඩු ලෝහ ප‍්‍රමාණයකින් පරිපූර්ණ කෘතියක් එළි දැක්වීමට හැකිවීම මෙහි විශේෂත්වයයි. මෙවැනි හේතූන් නිසා ඉටි මැකුම් ක‍්‍රමය පොළොන්නරු ලෝහ තාක්‍ෂණික ශිල්පීන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූ බව පෙනේ. ලෝකඩ භාණ්ඩ නිෂ්පාදනයේ දී විශේෂයෙන් උසින් වැඩි පහන් ආධාරක නිෂ්පාදනය කිරීමේ දී මේ ලක්‍ෂණය කැපී පෙනේ. උසින් වැඩි පහන් ආධාරක සඳහා මධ්‍යයෙන් ආධාරකයට සවි කළ යකඩ කූරක් වටා ලෝකඩෙන් කැටයම් යොදා කළ පහන් ආධාරක පොළොන්නරුවේ දැක ගත හැකි ය.

ලෝකඩ පහන් කණු කෙළින් සිටුවා තැබීමට හැකිසේ බරින් වැඩි පැතිරුණු ස්වභාවයෙන් යුත් පාදමක් යොදාගෙන ඇත. නිර්මාණය සඳහා යොදාගත් තාක්‍ෂණය විශේෂ ය. සිටුවන ආධාරකයක් නම් කොටස් තුනකින් යුක්තව නිර්මාණය කොට ඇත. පාදම කඳ සහ ධාරකය එම කොටස් තුනයි. මේවා එකිනෙකක් වෙනවෙනම ඉටි මැකුම් ක‍්‍රමයට වාත්තු කර ඇති බවක් පෙනේ. මෙහි දී එක් එක් කොටස්වල මධ්‍යයේ වූ කඳ නිර්මාණයේ දී කඳ මධ්‍යයට කුඩා ප‍්‍රමාණයේ ලීයක් මැදිකොට ඒ වටා මැට්ටෙන් නිමාව ඇති බව සිතිය හැකි ය. මේ සඳහා සාධක වශයෙන් ආධරක මධ්‍යයේ ඇති යකඩ කූර වටා ඇති මැටි තට්ටුව රත් පැහැ ගැන්වී තිබේ. මෙය රත්වූ ලෝහය නිසා අධික තාපයට ලක්වීම හේතුවෙන් ඇති වූවක් විය හැකිය. පෙර නිමි යකඩ කූරක් මේ සඳහා යොදා ගත්තේ නම් මෙවැනි ලක්‍ෂණ ඇති නොවේ. පසුව එහි ඉටි තවරා ඇති අතර පට්ටලයක ආධාරයෙන් ලියවා ඒ මත නැවත ස්තර කිහිපයකින් යුත් මැටි තැවරීමෙන් අච්චුව නිමවා ඇත. ඒ ආකාරයෙන් ඉටි මැකුම් තාක්‍ෂණය උපයෝගී කරගත් අතර මෙහි විශේෂත්වය වන්නේ අච්චුව ගිනියම් කිරීමේ දී මධ්‍යයේ වූ ලීය දැවී ගොස් සිදුරක් නිර්මාණය වීමයි. මෙය උපයෝගී කොටගෙන ආධාරක පතුල, පහන් කඳ සහ ධාරකය එක් කොට මධ්‍යයේ වූ සිදුරට උණුකරගත් යකඩ වත්කිරීමෙන් කොටස් තුන ඒකාබද්ධ කරගෙන ඇති බව පෙනේ. මෙම ක‍්‍රමවේදයට අනුව නිර්මාණය කරන ලද පහන් ආධාරකවල මධ්‍ය යකඩ ආධාරකය ප‍්‍රමාණයෙන් විශාලවීම හා ලෝකඩ කොටස්වලට බද්ධවීම හේතුවෙන් ශක්තිමත් බවින් වැඩි වූ බව ඒවා තවමත් හොඳින් ආරක්‍ෂා වී තිබීමෙන් පෙනේ. යකඩ කූරක් මැදිකොට නිර්මාණය කළ ආධාරකවල යකඩ කූර කුඩාවීමත් ලෝකඩ කොටස්වලට බද්ධ නොවීමත් හේතුවෙන් හායනයට ලක්ව සියල්ලම පාහේ කොටස් වශයෙන් කැඞී වෙන් වී ඇත.

බුදුපිළිම සකස් කිරීමේ දී ශිල්පීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ සමාධි මුද්‍රාවෙන් යුතු පිළිම නිර්මාණය සඳහා ය. එම පිළිම අතර ආසනයක් සහිත ව නිම වූ පිළිමයක් ද වේ. උස සෙන්ටිමීටර් 8.9ක් වූ සමාධි මුද්‍රාවෙන් වීරාසන ආසනයෙන් යුතු ව නිමවා ඇති බුදු පිළිමයට වෙන ම සකස් කරන ලද ආසනය පාස්සා ඇත (25 කැනීම් වාර්තාව). මෙම බද්ධ කිරීම ඉවසිලිවන්ත ව නිමවීමට ශිල්පියා උත්සාහ ගෙන තිබේ. පිළිම කිහිපයක ම අත් පා ආදී ශරීර කොටස් හමු වී තිබේ.

තුනී රන් තහඩු නිර්මාණ තාක්‍ෂණය

පොළොන්නරු යුගයේ රන් ලෝහය තුනී ලෙස තලා සියුම් කලාත්මක නිර්මාණ පොළොන්නරු යුගයේ නිෂ්පාදනය වූ බවට සාධක බොහොමයක් හමුවී ඇත. ඉතා උසස් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි පොළොන්නරුව ආළාහන පරිවෙණ සංකීර්ණයෙන් ලැබී ඇති කීර්තිමුඛය සහිත මකර තොරණ හොඳම සාධකයකි. තුනී රන් තහඩුවෙන් කරන ලද කීර්තිමුඛ කැටයමකි. මකර තොරණේ මුදුනේ ඇති සිංහ මුහුණ කීර්ති මුඛ හෙවත් (කිබිසි මුහුණ) නමින් හඳුන්වා ඇත. මෙය ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, නේපාලය, බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ජාවා දූපත් ආදී රටවල දැකිය හැකි පොදු නිර්මාණයකි. එසේ ම ඉන්දියාවේ කලා ශිල්ප තුළින් ප‍්‍රභවය වී මෙය භාරතීය සංස්කෘතිය පැතුරුණු අනෙකුත් ප‍්‍රදේශවල කලාශිල්ප තුළ ද දක්නට ලැබේ. මේවා ගොඩනැඟිලි දොරටු ආරුක්කු මුුදුනේ දැකිය හැකි නිර්මාණයකි. අනුරාධපුර දොරටුපාල ජටා මකුටයේ ද ලංකාවේ බුදුපිළිමවල ප‍්‍රභා තොරණවල ද නිතර දැකිය හැකි කැටයමකි. කීර්ති මුඛ ශිව දේවාලවල අවශ්‍යයෙන් ම යෙදුණු අංගයක් බවට පෙන්වා දී ඇත (සිංහල විශ්වකෝෂය 7:363).

සමකාලීන දැදිගම කොටවෙහෙරෙන් හමු වී ඇති බුදු පිළිමයේ කීර්තිමුඛය සහිත මකර තොරණකි. මෙම පිළිමය රන් තහඩුවෙන් නිමවා ඇති එය උසින් සෙන්ටිමීටර් 16ක් තරම් වේ (Godakumbura 1969:57). මෙය තුනී රන් තහඩුවෙන් නිමවා ඇතුළත සඳුන් බදාම ගල්වා පෘෂ්ඨය ශක්තිමත් කළ කීර්තිමුඛය සහිත මකර තොරණ පසුබිම් කොට තැනූ බුදු පිළිමයකි. ගල් විහාරයේ විජ්ජාධර ගුහාවේ ඇති ප‍්‍රතිමාවේ දැකිය හැකි ලක්‍ෂණ බොහොමයක් මෙහි දක්නට ඇත. මකර තොරණ හැරුණු විට සෙසු ලක්‍ෂණ හාත්පසින්ම සමාන වේ. ඊටම සමාන තාක්‍ෂණයක් උපයෝගී කොට නිමැවූ ආළාහන පරිවෙණ කැණීම් භූමියෙන් ලද කීර්තිමුඛය රනින් කළ විශේෂ පුරාවස්තුවකි. මෙහි මෝස්තර නිර්මාණය කර ඇත්තේ තහඩුවට යට පැත්තෙන් ඉහළට තෙරපීම මඟිනි. වර්තමානයේ සාම්ප‍්‍රදායික රන්කරුවන් අතර මෙම තෙරපීමේ ක‍්‍රමය හෙවත් රූප ඉස්මතුකොට දැක්වීමේ ක‍්‍රමය රන් කර්මාන්තයේ දී හා පිත්තල කර්මාන්තයේ දී දැකිය හැකි අතර එම ක‍්‍රමවේදය ම මේ සඳහා ද යොදාගන්නට ඇති බව පැහැදිලි ය. මෙකී සාම්ප‍්‍රදායික ක‍්‍රමයේ දී කෙරෙනුයේ කිසියම් පුවරුවක් මත සෙන්ටිමීටර් 1ක් පමණ හෝ ඊටත් මඳක් වැඩි වූ ඝන මී හෝ බඹර ඉටි අතුරා ඒ මත ලෝහ කැටයමේ පිටත ඒ මත සිටින සේ හොඳින් සවිකර ගනී. ඉන් අනතුරු ව කැටයමට අවශ්‍ය මෝස්තර තිබෙන ලෝහ අච්චුවක් ගෙන එය ලෝහ තහඩුව මත මෝස්තර තැබිය යුතු ස්ථානයේ තබා සෙමෙන් සෙමෙන් මිටියකින් පහර දී මුද්‍රාවේ ඇති කැටයම ලෝහ තහඩුවේ ඔබ්බවනු ලැබේ. පහර දීමට අනුව මී ඉටි ස්තරය තෙරපී යන අතර තෙරපීමට අවශ්‍ය ගැඹුර ශිල්පියාගේ අතේ හුරුව මත තීරණය කෙරේ. මෙම මෝස්තර යෙදීමේ දී අච්චුව මෙන් ම නියන ද භාවිතයට ගැනේ. ඉහත මෝස්තර යෙදූ තහඩුව ඉටිවලින් ගලවා අවශ්‍ය කරන ආභරණය නිර්මාණය කරගත හැකි ය.

ඉහත ආකාරයේ රන් ආභරණ තනාගැනීමට අවශ්‍ය තුනී රන් තහඩු සියුම් ව තළාගැනීම ද පුරාණ ලෝහ තාක්ෂණයේ වැදගත් අංගයකි. තුනී රන් තහඩු නිෂ්පාදනය සඳහා තායිලන්තයේ රන්කරුවන් විසින් යොදාගන්නා සාම්ප‍්‍රදායික එක් ක‍්‍රමයක් වන්නේ හම් කිහිපයක් මත රන් ගුලියක් තබා ඒ මත තවත් හම් අතුරා තැලීමෙනි. ශ‍්‍රී ලංකාවේ ද මෙම ශිල්ප ක‍්‍රමය අනුරාධපුර යුගයේ හා පොළොන්නරු යුගයේ ශිල්පීන් විසින් අනුගමනය කොට ඇති බව ඉහත සාධකවලින් පෙනේ. මෙම තාක්‍ෂණයේම යම් යම් කොටස් අනුව නිර්මාණය කළ කලාත්මක රන් වළල්ලක් අභයගිරි විහාර භූමියෙන් ලැබී තිබේ (ඡායාරූප අංක 41, 42). එකට සම්බන්ධ කරන ලද වළලු 13කින් යුක්ත ය. එය ඉතාමත් තුනී රන් තහඩුවකින් නිමවා වළලු ඇතුළත කුහරය කිසියම් ආලේපයකින් පුරවා තිබේ. හමු වී ඇති ඉහත කී සම්පූර්ණ වළල්ල දිග සෙන්ටිමීටර් 9.3කි. ඉහළ ම වළල්ල විශාලවටත් පහළට යාමේ දී කුඩා වන අයුරිනුත් නිමවා ඇත්තේ පිළිම අතේ හැඩයට අනුව අලංකාර වන පිණිස ය.

මෙම රන් භාණ්ඩවල නිර්මාණ තාක්ෂණය සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමිය ආශ‍්‍රිතව දියුණු රන් කර්මාන්තයක් පැවැති බවයි. මෙම ශිල්පීන්ට භාණ්ඩ නිර්මාණයේ දී භාවිත ගුණය සහ කල්පැවැත්ම යන ප‍්‍රධාන කරුණු ද්වය ම පිළිබඳ මනා අවබෝධයක් තිබුණු බව ඉහත භාණ්ඩවලින් තහවුරු වේ.

රන් රිදී ආලේප කිරීමේ තාක්‍ෂණය

රන් ආලේප කිරීමේ තාක්‍ෂණික ක‍්‍රමවේදයක් පොළොන්නරු යුගයේ පැවැති බවට පැහැදිලි සාධක පවතී. අලේපන ලෝහ වර්ග ලෙස බහුලව යොදාගන්නා ලද්දේ රත්රන් ය. මීට අමතරව සුළු වශයෙන් රිදී ආලේපන ලෝහයක් ලෙස පොළොන්නරු යුගයේ දී භාවිත කර ඇති බව පෙනේ. ලෝහ ආලේපනය පිළිබඳ සාධක ලෝහමය, පාෂාණමය, රජතමය, කනකමය, දාරුමය සහ මෘත්තිකාමය යන පෘෂ්ඨයන් කිහිපයක් යටතේ හඳුනාගත හැකි ය.

ලෝහමය පෘෂ්ඨයන් මත ලෝහ ආලේප කිරීම පිළිබඳ සාධක කිහිපයක් පොළොන්නරුවෙන් හමු වේ. තඹ සහ ලෝකඩෙන් නිමවන ලද විවිධ ප‍්‍රතිමා (බුද්ධ ප‍්‍රතිමා, හින්දු ප‍්‍රතිමා බෝධිසත්ව ප‍්‍රතිමා සහ භාණ්ඩවල පෘෂ්ඨයන් මත රන් ආලේප කරන ලදි. ලෝකඩ පහන් ආධාරක, තඹ කාසි රන් ආලේපිත සියුම් තහඩු කුසලානය ආදී පුරාවස්තූන් මීට උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. සියුම් ස්තරයක් ලෙස ආලේපිත රන් කොටස් ගැල වී ගොස් තිබෙන අතර පිළිමවල තැනින් තැන පැල්ලම් වශයෙන් පමණක් ඉතිරි ව ප‍්‍රධාන ලෝහය ඉස්මතු වී තිබේ.

ආළාහන පරිවෙණ සංකීර්ණයේ කැණීම්වලින් ලැබී ඇති රන් ආලේපිත තඹ තැටිය මෙහිලා විශේෂ වූවකි. කොටස් 5ක් නෙළුම් මලක් ලෙස සකසා ඇති මෙම තැටියේ පෙති 7කි. පෙත්තක දිග මිලිමීටර් 13 පළල මිලිමීටර් 12 (පේ‍්‍රමතිලක 2002:158-163) පොළොන්නරුව කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය සඳහා අංක 3 ගැලරියේ තබා ඇති රන් ආලේපිත තඹ කුසලානය හා 2 වන ගැලරියේ ඇති බුදු පිළිම හා බෝධිසත්ව ප‍්‍රතිමාව ද පුරාවස්තු පර්යේෂණාගාරයේ ඇති රන් ආලේපිත ලෝකඩ දීපාධාර කොටස ද සිඛා පහකින් යුක්ත රන් ආලේපිත තඹ සිරස්පත ද (උස සෙන්ටිමීටර් 16.5 පළල සෙන්ටිමීටර් 9 කි) ලෝහ මත රන් ආලේපිත බවට ඇති නිදසුන් කිහිපයකි.

හුණු බදාමයෙන් කළ ස්තූප පෘෂ්ඨයන්හි රන් ආලේප කොට තිබූ බවට සාහිත්‍යමය සාධක හමු වේ. රූපවතී දේවිය විසින් රන්මුවා නැවක් බඳු රන්මුවා මහ සෑයක් නුවර මැද කර වූ බවට ඇති සඳහන මෙහි ලා විශේෂයෙන් දැක්විය හැකිය (මහාවංසය 73:136-147). මෙය වර්තමානයේ හඳුනාගෙන ඇත්තේ පැරණි නගරයේ රාජකීය පරිශ‍්‍රය හා ආරාමික පෙදෙස අතර නගර මධ්‍යයේ පිහිටි පූජනීය පෙදෙසේ පබළු වෙහෙර වශයෙනි. දාගැබෙහි සතරැස් කොටුවෙහි උඩ ඉදිකරන ලද ඡත‍්‍රය බුදුරදුන්ගේ උත්තරීතර ගුණය ප‍්‍රකාශවන සංකේතය විය. එය රීතියක් වශයෙන්ම උල් කේතුවක සම්මත හැඩයට පරිණාමය වූ පසුව ස්වර්ණමය හෝ රත්රන් ආලේප කරන ලද්දේ හෝ විය. පබළු වෙහෙර ස්තූප ඡත‍්‍රයේ ද මේ ආකාරයෙන් කළ ලෝහමය කේතුවක් පැවති බවට සාධක ශේෂ වූ යකඩ කොටස් තිබේ. බොහෝ විට මෙහි ද රන් ආලේප කොට තිබෙන්නට ඇති බවට රන්මුවා කොත්කැරලි හා රන්කොත් යනාදී සඳහන් මීට සාධක වේ.

මෘත්තිකාමය පෘෂ්ඨ මත රන් ආලේප කළ බවට ද සාධක පොළොන්නරුවෙන් හමු වේ. ඒ අනුව මැටි පහන් ආධාරක වැනි හොඳින් දර්ශනය වන ස්ථානවල තබන මැටි නිර්මාණවල රන් ආලේප කළ බව පෙනේ. මෙබඳු සාධක කිහිපයක් හමු වී තිබේ. 2012 වර්ෂයේ ඇතුළුනුවර විජයබාහු මාලිග කැණීමෙන් හමු වූ භාජනය සහ එහි මූඩිය එවැන්නකි. මෙය රාජකීය පරිශ‍්‍රයක් තුළින් හමු වූ බැවින් එහි පරිහරණයට ගත් මැටි බඳුනක් වියහැකිය (මාරසිංහ 2012). ආළාහන පරිවෙණ සංකීර්ණයෙන් හමු වූ මෘත්තිකාමය දීපාධාරය ද එවැන්නකි. මේ අනුව  ‘රන් වළන්’ යනුවෙන් සෙල්ලිපිවල එන සඳහන් අනුව රනින් කළ භාජන හෝ රන් ආලේපිත භාජන හැඳින්වීම සඳහා යොදාගත්තා විය හැකි ය (EZ.ii,23, C.11; EZ.,v,42.13). පරාක‍්‍රමබාහු රජතුමා විසින් භෝජනයට සුදුසු වූ ස්වර්ණමය හා රජතමය නොයෙක් බඳුන් ලංකාපුර ප‍්‍රභූරාජයා වෙත යැවූ බවට ඇති සඳහන අනුව ද රන් ආලේපිත මැටි බඳුන් රාජකීය හා ප‍්‍රභූ වරුන්ගේ භාවිතය සඳහා තිබූ බව පෙනේ (මහාවංසයථ 76:206-207).

නිශ්ශංකමල්ල රජතුමා විසින් දඹුලු විහාරයේ කරන ලද ස්වර්ණ කර්මාන්තය පිළිබඳව පොළොන්නරුව ප‍්‍රීතිදාන මණ්ඩප සෙල්ලිපියේ (Wickramasinghe 1928,165-178) හා පොළොන්නරුව ගල්පොත ලිපියේ ද (Wickramasinghe 1928, 98-123) විස්තර වේ. මේ අනුව හත් ලක්‍ෂයක් කහවණු වියදම් කොට බුද්ධ ප‍්‍රතිමා හැත්තෑ තුනක රන් ආලේප කළ බව පැවැසේ. දඹුල්ල සෙල්ලිපියට අනුව විහාරයේ බිම රන්පත් අතුරා පිළිම හැත්තෑ තුනක රන් ආලේප කළ බව දැක්වෙයි (Wickramasinghe 1928,130,136). ඔපමට්ටම් කරන ලද බිත්ති මත රන් ආලේපකරන ලද්දේ විය. රන් ආලේප කරන ලද බුදු පිළිම 73ක් නුවණැති රජතුමා විසින් එහි පිහිට වන ලදි (මහාවංසයථ 80:22-23). පූජාවලියට අනුව ද දඹුලු විහාරය රන් පත් ඉරුවලින් වසා පිළිම 73ක් රනින් ආලේප කරවා තිබේ. විද්‍යමාන ශේෂ සාධක අනුව දඹුලු විහාරයේ ඇති පිළිම සියල්ලක් ම පාහේ දැවමය මාරමක් මත මැටියෙන් කළ ඒවා වන අතර මෙම සඳහනට අනුව රන් ආලේප කොට ඇත්තේ එම මෘත්තිකාමය මතුපිටක් සහිත එම පිළිමවල බව පැහැදිලි වේ.

ශිලා මාධ්‍යය මතුපිට රන් ආලේපිත බවට සාධක තිබේ. ගල් විහාරයේ විජ්ජාධර ගුහාවේ ඇතුළත ඇති ප‍්‍රතිමාව මෙසේ රන් ලෝහය ආලේප කොට තිබූ ප‍්‍රතිමාවක් බව ප‍්‍රකට කරන සාධක ශේෂව පවතී. ප‍්‍රතිමාව මතුපිට පෘෂ්ඨයේ සියුම් ඔප දැමීම සහ ඇතැම් තැන්හි ශේෂ ලෝහ මතුපිට බැඳෙන කොල පැහැති ඔක්සයිඞ් ශේෂයන් මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එසේම පොළොන්නරුව වටදාගෙයි උතුරු දිශාභිමුඛ බුද්ධ ප‍්‍රතිමාවේ ද මේ ලක්‍ෂණ දැකිය හැකි ය. රන්මුවා ටැම් (එම 73:82) පිළිබඳව සඳහන් වන අතර මේවා බොහෝවිට රන් ආලේපිත ශිලාමය ටැම් විය හැකිය. රත්රන් ලෝහයේ ඇති මිල අධික බව හා දුලභ බව හේතු වෙන් රත්රන්වලින් ඝණ වස්තු නිර්මාණය කිරීමට වඩා ආලේපන මාධ්‍යයක් වශයෙන් යොදාගන්නට ඇතැයි මේ අනුව සිතිය හැකි ය. සුළු පරිමාණයේ ඝන වස්තු පමණක් රත්රන්වලින් නිර්මාණය කොට තිබූ බවට සාධක හමු වේ.

දැවමය පෘෂ්ඨයන් පිළිබඳ සාධක ද ශේෂ වී නොමැත. එහෙත් රාජකීය ගෘහයන්හි වූ රන් ආලේපිත දැව නිර්මාණයන් පිළිබඳ මහාවංසයේ විස්තර වේ. බොහෝ විට ප‍්‍රධාන පෘෂ්ඨයේ ඛාදනය හේතුවෙන් මතුපිට සාධකවල විනාශ වීම නිසා මෙම සාධක අවිද්‍යමාන වන්නට හේතු වේ. පළමුවන පරාක‍්‍රමබාහු රජතුමා විසින් කරවන ලද බමුණන් ලවා ශාන්ති කරවන්නට රන් මැදුරක් ද (එම 73:71) ස්වර්ණමය කල්පවෘක්‍ෂයක් සහිත සරස්වතී මණ්ඩපයක් (එම 73:84-86) රන්මුවා ටැම් මත්තෙහි පිහිටි රන් බිමක් මත කළ පහන් රුකකින් යුක්ත වූ රන් ගෙයක් (එම 73:93, 94) පිළිබඳ හමුවන සාහිත්‍යමය සාධකවලින් ද විවිධ මාධ්‍යයන්හි රන් ආලේපිත බව පෙනේ. මහින්ද නැමැති ඇමතිවරයා විසින් පොළොන්නරුවේ දාඨා ධාතූන් වහන්සේ සඳහා මන්දිරයක් කරවූයේ ය. එහි දොර ද වා කවුළු ද රනින් නිමවා තිබූ බව දැක්වීම අනුව බොහෝවිට දැවමය පෘෂ්ඨයන් මත ද රන් ආලේපිත බවක් හැෙඟ්.

රන් ආලේපිත කාසිවල ඇති රන් ස්තරය ඉතා තුනී වූවකි. මෙසේ රන් කහවනු අනුව යමින් රන් ආලේපිත කාසි නිපදවීම උවමනාවෙන් ම සිදුකරන්නට ඇත. පොළාන්නරුවෙන්  රන් ආලේපිත කාසි සාධක හමු වී ඇත. කෞතුකාගාර ප‍්‍රදර්ශනය සඳහා තබා ඇති රන් ආලේපිත කාසිය එවැන්නකි. මීට අමතරව රාජ රාජ හා විජයබාහු රජවරුන් විසින් නිකුත් කළ කාසි අතර ද රන් ආලේපිත කාසි වේ.

රන් ආලේපිත උළු පිළිබඳ ද්‍රව්‍යයමය සාධක ලැබී නැතත් නිශ්ශංකමල්ල රජුගේ ජම්බුකෝල නම් විහාර කර්මාන්තය පිළිබඳ සඳහනෙහි වහල රන් ආලේප කරන ලද උළුවලින් වසා තිබූ බව සඳහන්වේ (මහාවංසය 80:22-23). මහින්ද නැමැති ඇමතිවරයා විසින් පොළොන්නරුවේ දාඨා ධාතූන් වහන්සේ සඳහා රන් ආලේපිත පියස්සක් සහිත මන්දිරයක් කරවූයේය. එහි දොර ද වා කවුළු ද රනින් නිමවා තිබූ බව දැක්වේ. මීට අමතරව ඇති රන්මුවා පියැසි (එම 73:129) පිළිබඳ සඳහනට අනුව විශේෂිත ගොඩනැගිලිවල මැටි හෝ ලෝහවලින් කළ උළු මත රන් ආලේපිත බවක් හැෙඟ්.

පොළොන්නරු යුගයේ තඹ භාවිතයෙන් කළ හසුන් හා ප‍්‍රදාන සඳහා යොදාගත් සන්නස් ප‍්‍රකට මාධ්‍යයකි. මේවායෙහි නිෂ්පාදනය සඳහා තඹ හා ටින් ලෝහ මිශ‍්‍රණය යොදාගත් අතර ප‍්‍රතිශතය අනුව තඹ වැඩි ප‍්‍රමාණයක් යොදාගෙන ඇති බව සමීප නිරීක්‍ෂණය මගින් පැහැදිලි විය. තාක්‍ෂණ ශිල්පීන්ගේ දැනුම හා පළපුරුද්ද මත අනුගමනය කළ උපක‍්‍රමයක් ලෙස මෙය හැඳින ගත හැකි ය. මෙමගින් පැහැදිලිවන කරුණක් ලෙස තහඩුව මත අක්‍ෂර කෙටීමේ පහසුව මූලික අපේක්‍ෂාව වී ඇති බව කිව හැකි ය. අක්‍ෂර කිරීමේ දී බහුලව යොදාගත් ක‍්‍රමය වී ඇත්තේ තිත් ක‍්‍රමයයි. පොළොන්නරුව කෞතුකාගාරයෙහි තුන්වන ගැලරියේ ප‍්‍රදර්ශනය සඳහා තබා ඇති නිශ්ශංකමල්ල රජුගේ අල්ලෙයි තඹ සන්නස මේ සඳහා හොඳම උදාහරණයකි. මීට අමතරව හාරා ඉවත් කිරීමේ ක‍්‍රමය ද යොදා ගෙන ඇති බව විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස අනුව පෙනේ.

නිගමනය

පොළොන්නරුව ආළාහණ පරිවෙන හා තදාශ‍්‍රිත ලෝහ කර්මාන්තය පිළිබඳ කරනු ලැබූ මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය මඟින් පොළොන්නරුවෙන් හමු වී ඇති ලෝහ පුරාවස්තූන් ආශ‍්‍රයෙන් තත්කාලීන ලෝහ නිස්සාරණය, භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රමවේද හා භාවිතය පිළිබඳ කරුණු අධ්‍යයනය කරන ලදි.

පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමිය කේන්ද්‍රකොට කැණීම් හා ඒ ආශි‍්‍රතව සිදු කෙරුණු ගවේෂණාත්මක තොරතුරු අධ්‍යයනයේ දී පැහැදිලි වූ කරුණක් වූයේ තඹ භාවිත වුව ද භාණ්ඩ නිෂ්පාදනයට සාපේක්‍ෂව තඹ නිස්සාරණය සිදු වී නොමැති බවයි. ඒ අනුව සේරුවිල වැනි මහාපරිමාණයෙන් තඹ නිස්සාරිත ස්ථානවලින් නිෂ්පාදිත තඹ ආනයනය කර භාවිතයට ගන්නට ඇති බව නිගමනය හැකි ය. යකඩ ලෝහය නිස්සාරණය හා නිෂ්පාදනය යන ක‍්‍රියාවලීන් දෙක ම සම සම ව තදාශ‍්‍රිත කලාපයේ සිදු වී ඇති බවට පැහැදිලි සාධක ලෙස ආළාහන පරිවෙණ අවටින් හමු වූ ලෝහ නිස්සාරිත පරිශ‍්‍ර හා ඝණව ව්‍යාප්තවූ යබොර සාධක සපයයි.

ලෝහ භාවිතය පිළිබඳ විශේෂ වර්ධනීය අවස්ථාවන් කිහිපයක් පිළිබඳ සාධක ද පොළොන්නරුවෙන් හමු වේ. තඹ හා යකඩ භාණ්ඩ නිෂ්පාදනය පුළුල් ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ ව්‍යාප්තව තිබුණි. එසේම රන් රිදී වැනි දුලභ හා වටිනා ලෝහ, ආලේපන ලෝහ වශයෙන් නිර්මාණ අලංකරණය සඳහා යොදාගෙන ඇත. තඹ, ඊයම්, තුත්තනාගම් හා ටින් වැනි යකඩමය නොවන බර ලෝහ භාවිතය හා ලෝහ සංයෝග කිරීමෙන් නිපද වූ ලෝකඩ, පිත්තල හා සුදු ලෝකඩ වැනි සංයෝග ලෝහ පොළොන්නරු යුගයේ ලෝහ භාවිතය නව මානයකට යොමු කළ බව පෙනේ. ලෝකඩ ආශ‍්‍රිත භාණ්ඩ හා ප‍්‍රතිමා නිර්මාණ කලාව එවකට දකුණු ඉන්දියානු ශෛලීය ආභාසයක් පෙන්නුම් කරතත් ඒ තුළ එල්බ නොසිට අනන්‍යතා ගොඩනඟාගත් බවට සාධක තිබේ. තඹ ලෝහය ආශ‍්‍රිත නිෂ්පාදනයන්හි උච්චතම අවධිය වන්නේ ද ප‍්‍රස්තුත යුගයයි. තඹ කාසි නිෂ්පාදනය අනුරාධපුර කාසි නිෂ්පාදන ක‍්‍රමවේදයට හාත් පසින්ම වෙනස් තාක්‍ෂණ මුද්‍රා තැබීමේ ක‍්‍රමවේදයට අනුව සිදුකොට ඇතිබව නිගමනය කළ හැකි විය.

හස්ති, අශ්ව හා පාබල සේනා අඩපණ කිරීමෙහි සමත් ශූලපාද වැනි පොළොන්නරුවට අවේණික ලෝහ නිර්මාණයන් එවකට යකඩ තාක්‍ෂණයේ දියුණුව පිළිබඳ හොඳම උච්චත ම අවස්ථාව ලෙස හඳුනාගත හැකි ය.

සමස්ත අධ්‍යයනයෙහි ලා ඉස්මතු වූ විශේෂ කරුණක් වන්නේ පොළොන්නරුව ආළාහන පරිවෙණ ආශ‍්‍රිත ව වර්ධනය වූ ආරාමික ලෝහ තාක්‍ෂණ සම්ප‍්‍රදායයක් පැවැති බවයිි. මන්දයත් හමු වී ඇති ලෝහ භාණ්ඩයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් මෙම කොටසින් ලැබුණු ඒවා ය. එම ලෝහ භාණ්ඩ සංචිතය තුළ වූ සියලුම ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කරන උපකරණ ආරාමික ක්‍ෂේත‍්‍රය තුළින් හමුවීම මේ සඳහා තුඩුදුන් ප‍්‍රධාන සාධකය වේ. ආගමික සංකේත සහිත ශී‍්‍ර සංඛ කාසිය ආරාමික නිෂ්පාදිත පරිශ‍්‍රයන්හි නිෂ්පාදනය කළ බවට සාධක හමු වේ. ආරාමික ලෝහ කර්මාන්තයක් තිබුණු බැව් තහවුරු වන නමුත් එම කාර්යය සිදු කරනු ලැබුවේ භික්ෂූන් ද නැතහොත් ගිහියන් ද නැතහොත් භික්ෂු උපදේශකත්වය යටතේ ගිහියන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳ නිරවුල් කරගත හැකි සාධක නොවී ය. අභයගිරිකයන් විසින් රැකගෙන ආ එම සම්ප‍්‍රදාය පොළොන්නරු යුගයේ ආළාහන පරිවෙණ කේන්ද්‍ර කොටගෙන ද වර්ධනය වන්නට ඇති බව නිගමනය කළ හැකි ය.

මෙම සාධක අනුව පොළොන්නරු යුගයේ පැවැති තාක්‍ෂණික මට්ටමින් ඉහල ලෝහ නිර්මාණ භාවිතය දේශීය මෙන්ම විදේශීය රටවලත් ජනප‍්‍රිය වී තිබුණි එවකට පැවැති සියලු දේශීය කර්මාන්තයන්හි දියුණුව සඳහා ලෝහ තාක්‍ෂණයේ දියුණුව සෘජු ලෙස ම හෝ වක‍්‍රාකාරයෙන් බලපෑ බව පැහැදිලිි ය. එසේ හෙයින් පොළොන්නරු යුගයේ සමාජ ආර්ථික ප‍්‍රගමනයෙහි ලා ලෝහ තක්‍ෂණික ශිල්පීන් විසින් මහත්වූ කාර්යභාරයක් ඉටු කර ඇති බව අවිවාදයෙන් පිළිගත යුතු ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

ප‍්‍රාථමික මූලාශ‍්‍රය

  • කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රය (2003), සංස්. හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, එස්. ගොඩගේ සහෝදරයෝ, කොළඹ.
  •  මහාවංසය I (1996), හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ  දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
  •  මහාවංසය II (1996), හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
  •  රුවන්මල් නිඝණ්ඩුව (1914), සංස්. විජේසේකර, කොළඹ.
  •  සද්ධර්මරත්නාවලිය (1926), සංස්. ඞී.බී. ජයතිලක, කොළඹ.
  •  සිංහල විශ්වකෝෂය (07), සංස්. හරිස්චන්ද්‍ර විජේතුංග, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.

ද්විතීයික මූලාශ‍්‍රය

  • පේ‍්‍රමතිලක, පී.එල්. (1990), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 5 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1995), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 20 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1995), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 21 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1995), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 23 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1997), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 28 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමානන්ද, සොලමන්, ඓතිහාසික භාරතීය කලා විමසුම, සාර ප‍්‍රකාශන හා මුද්‍රණ, කොට්ටාව.
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2012), ඇතුළුනුවර විජයබාහු මාලිග කැණීම (අමුද්‍රිත), මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය.
  • වත්තල, එස්. (1962), කලාව සහ ශිල්ප ශාස්ත‍්‍ර, ඇම්.ඞී.ගුණසේන සහ සමාගම, කොළඹ.
  • සිරිවර්ධන,එස්. (2000), ලෝහ කර්මාන්තය (පළමුවන කොටස) එස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සිරිවර්ධන, එස්. (2001), ලෝහ කර්මාන්තය (දෙවන කොටස) එස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • විද්‍යාත්මක වාර්තා හා ක්‍ෂේත‍්‍ර සටහන් පොත්, (1981-1998) ආළාහණ පරිවෙන පොළොන්නරුව, මධ්‍යම සංස්කෘතික අරමුදල,
  • Archaeological survey of Ceylon (1908), Annual Reports.
  • Epigraphia Zeylanica, vol-II (1928), Wickramasingha Don Martino de Silva,London.
  • Epigraphia Zeylanica  vol -v part-i (1955), Paranavitana,S, Department of Archaeology, Sri Lanka
  • Epigraphia Zeylanica vol – v, part – 2 & 3, (1963, 1965), S. Paranavitana & C.E. Godakumbura,  Department of Archaeology, Sri Lanka.
  • Thnathilage, Arjuna., (2010), Scientific observations on unification of siva and parvathi bronzes by Lakdusinghe. Sunday, January 3rd, Postgraduate Institute of Archaeology – Sri Lanka
------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.08.12 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------