Home Blog Page 16

අභිලේඛන මඟින් අනාවරණය වන කණිට්ඨතිස්ස රජු ගේ ජීවන චරිතය

බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

පූජ්‍ය, බැරගම සද්ධානන්ද හිමි

හැඳින්වීම
ඉතිහාසය යනු, අතීත සිද්ධීන් පිළිබඳ විස්තරයක් හෙවත් යටගියාව පිළිබඳව වර්තමානයේ සිදුකෙරෙන අධ්‍යයනයක් ලෙස ගිනිය හැකි ය. ඉතිහාසඥයාගේ කාර්යය වන්නේ යටගියාවේ කරුණු මත පදනම් ව අතීතය ප්‍රතිනිර්මාණය කිරීම යි. ඉතිහාසඥයාට සාහිත්‍ය මූලාශ්‍රයන්ට අමතරව පුරාවිද්‍යාව, ශිලාලේඛන විද්‍යාව, නාණක විද්‍යාව ආදී සහයක විද්‍යාවන් ගණනාවක සහය ලබාගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන් ම ඉතිහාස සිද්ධීන් තහවුරු කරගැනීමේ හැකියාව, ඉතිහාස කරුණු සංශෝධනයන් සහිතව අධ්‍යයනය කිරීමේ අවස්ථාව සහ ඉතිහාසයේ වසන් වූ තොරතුරු අනාවරණය කර ගැනීමේ හැකියාව ඒ අතර ප්‍රධාන වේ. වංශකතා ආශ්‍රයෙන් ඉතිහාසය දෙස බැලීමේ දී ශ්‍රී ලාංකේය රාජ තන්ත්‍රය මෙහෙය වූ පාලකයන්ගේ සැබෑ ජීවිතය ඉස්මතු නොවන අවස්ථා ඇත. එසේ අසාධාරණයට ලක්ව ඇති ශ්‍රේෂ්ඨ පාලකයන් අතරට ලම්බකරණ රජ පෙළපතට අයත් කණිට්ඨතිස්ස රජතුමා ද අයත් වේ. මෙම ලිපිය මගින් පෙන්වා දීමට උත්සහ කරනුයේ වංශකතා සහ ශිලා ලේඛන මූලාශ්‍රයන් ලෙස භාවිත කරමින් කණිට්ඨතිස්ස රජු සාර්ථක සහ යහපත් පාලකයකු ලෙස ගොඩනඟා ගත් චරිතය පිළිබඳව යි.

කණිට්ඨතිස්ස රජ පෙළපත සහ අභිලේඛන

වසභ රජුගෙන් ඇරඹි ලම්බකරණ රජ පෙළපතට අයත් රජවරු වර්ෂ තුන්සිය හැත්තෑවක පමණ කාලයක් ලක් රජය විචාරනු ලබති. වසභ රජුගේ වසර 44ක දීර්ඝ කාලීන රාජ්‍යය පාලනයෙන් පසු පිළිවෙලින් ඔහු පුත් වංකනාසික තිස්ස (ක්‍රි.ව. 109-112), ගජබාහු (ක්‍රි.ව. 112-134), මහල්ලකනාග (ක්‍රි.ව. 134-140) හා භාතියතිස්ස (ක්‍රි.ව. 140-164) රාජ්‍යයත්වයට පත්ව දීර්ඝ කාලයක් පාලන තන්ත්‍රය මෙහෙය වූ බව පෙනේ. ඉන්පසුව බලයට පත්වන්නේ භාතියතිස්ස රජුගේ සහෝදරයා වූ අපගේ කතානායකයා වන කණිට්ඨතිස්ස (ක්‍රි.ව. 167-186) රජතුමා ය.

   

ලම්බකරණ රජ පෙළපතේ සය වන පාලකයා ලෙස කණිට්ඨතිස්ස රජු බලයට පත් වුව ද මෙතුමාගේ පාලන කාලය පිළිබඳව වංශකතාවෙ හි නිශ්චිත එකඟතාවක් නොමැත. මහාවංශයෙ මෙන්ම දීපවංශයේ සඳහන් වන්නේ කණිට්ඨතිස්ස රජු වසර 28ක පාලන තන්ත්‍රය මෙහෙය වූ බව යි (මහාවංශය 1967:36,6; දීපවංශය 1977: 22,190). පූජාවලියේ කණිට්ඨතිස්ස රජු දහඅට අවුරුද්දක් රජ කළ බව කියැ වේ (පූජාවලිය 1997:775). රාජාවලියේ සඳහන්ව ඇත්තේ මෙතුමා විසි අවුරුද්දක් රජ කළ බවයි (රාජාවලිය 1997:194). කණිට්ඨ තිස්ස රජු වසර දහඅටක් රජ කළ කරුණ නිවැරදි ලෙස පසු කාලීන මූලාශ්‍රයන් හී දක්නට ලැබේ (ලං.වි.ලං.ඉ. 2001:180).

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මෙම රජුට අයත් සෙල්ලිපි 17ක් පමණ සොයාගෙන තිබෙන අතර ඒවායෙන් කණිට්ඨතිස්ස රජුගේ චරිතය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත. එම ලිපි අතර රුවන්වැලි සෑ පුවරු ලිපිය, තම්මැන්නා ගිරි ලිපිය, සිතුල්පව්ව ගිරි ලිපිය, මින්විල ගිරි ලිපිය අංක 5, මින්විල ගිරි ලිපිය අංක 6, සෝමාවති සෑ පුවරු ලිපිය, ලයිනමලේ ගිරි ලිපිය, ඔච්චප්පුකල්ලු ගිරි ලිපිය, අනුරාධපුර කෞතුකාගාරයේ පුවරු කැබැල්ලක ලිපිය, නෙළුම්පත් පොකුණ ගිරි ලිපිය, අභයගිරි සෑ මළුවේ පුවරු ලිපිය, මැහැල්ලයගේ දමනගිරි ලිපිය, රුවන්වැලි සෑ මළුව පුවරු ලිපිය, හබරණ ගිරි ලිපිය, අභයගිරි කරඬු දෙකක ලිපි, දීඝවාපි රන් සන්නස හා වෙල්ගම් වෙහෙර නටඹුන් වැව රන්තහඩුව යන ‌ලේඛන පවතී.

මෙම ලිපි ස්ථාපනය කිරීමේ මූලික අරමුණ ජනතාවට සන්නිවේදන මාධ්‍යයක් ලෙස යොදාගත්ත ද කණිට්ඨතිස්ස රජු පිළිබඳව අධ්‍යයනය කිරීමට පවතින වැදගත්ම සාධකය ලෙස මෙවා වැදගත් වේ. ඊට අමතරව කණිට්ඨතිස්ස රජුට අයත් බොහෝ අභිලේඛන විවිධ ආරාම භූමි වලින් ලැබීම විශේෂත්වයක් වුව ද ඒවායෙන් විසඳ වන කරුණු ආගමික පරසරයට පමණක් සීමා නොවේ. ඒ අනුව, මෙම ලේඛනවල අන්තර්ගත පරම්පරා තොරතුරු, දේශපාලන තොරතුරු, ආර්ථිකමය තොරතුරු හා ආගමික තොරතුරු යන ශීර්ෂ ඔස්‌‌සේ මෙසේ ඉදිරිපත් කළ හැකි ය.

රජ්‍ය පාලකයන් පිළිබඳව වාර්තා කිරීමේ දී බොහෝ විට පරම්පරා තොරතුරු ඉදිරිපත් කිරීම දැකගත හැකි වේ. විශේෂයෙන්ම කණිට්ඨතිස්ස රජතූමාගේ පියා සහ හොහොයුරා පිළිබඳව වංශකථාවේ කියැවෙන විස්තරය සිතුල්පව්ව ශිලාලේඛනය මගින් ද සනාථ වේ.

නක – මහරජ පුත බාතිය – තිස මහරජ මලිතිස (Paranavitana 2001:126)

ලිපියට අනුව පියා මහල්ලකනාග වන අතර වැඩිමහල් සොහොයුරා භාතියතිස්ස වේ. කණිට්ඨතිස්ස රජුට අයත් සෑම ලිපියක පාහේ ආරම්භ කිරීමේ දී තමාගේ පියා සහ සොහොයුරා පිළිබඳව නාම මාත්‍රයෙන් දක්වා තිබීම සුලභ දසුනකි. තම පියාට සහ සොහොයුරාට පැවති ගෞරවය සෙනෙහස සංකේතවත් කිරීම සඳහා ද නැතහොත් කණිට්ඨතිස්ස රජුගේ චරිතය තුළ පැවති නිර්ව්‍යාජ ස්භාවය නිසා ද නැතහොත් තමා සතු රාජ්‍යය උරුමය දැක්වීමට දේශපාලන උපක්‍රමයක් ලෙස භාවිත කලේ ද යන්න නිශ්චිතව කිව නොහැකිය. පියා සහ සොහොයුරා පිළිබඳව වංශකතා සහ අභිලේඛන කරුනු ඉදිරිපත් කල ද එතුමාගේ මව සහ අග මෙහෙසිය පිළිබඳව සඳහන් වන්නේ අභිලේඛනවල පමණි. විශේෂයෙන් ම අභයගිරි කරඬු දෙකක තිබී සොයා ගත් ශිලා ලේඛනවල ඒ පිළිබඳව සඳහන් ව ඇත.

මලු – තිස – මහරජ මති සිරලය ධාතු වී ජනේ (Paranavitana 2001:145)

ලිපියේ සඳහනට අනුව ජය මහ රජු කණිට්ඨතිස්සගේ මෑණියන් වන සිරලාගේ ධාතු නිධානයක් පිළිබඳව කියැ වේ. මේ අනුව කණිට්ඨතිස්ස රජුගේ මව සිරලා දේවිය බව පැහැදිළි ය. එපමණක් ද නොව තම අගමෙහෙසිය ගේ ධාතු නිධානයක් ගැන කියැවෙන අනෙක් ලිපියෙ හි තම දේවිය වූ මිතබි බව සඳහන් ව ඇත (Paranavitana 2001:145).

කණිට්ඨතිස්ස රජුගේ දේශපාලන තොරතුරු

ලම්බකරණ වංශික කණිට්ඨතිස්ස රජු රාජ්‍යත්වයට පත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 167-186 බව පැහැදිළි ය. වර්ෂ 18ක පමණ කාලයක් කිසිදු අභ්‍යන්තර බාහිර ආක්‍රමණ රහිතව පාලන තන්ත්‍රය මෙහෙය වූ මෙතුමා පිළිබඳ ව මහාවංශයේ ගාථා 12කින් වාර්තා කර ඇත. වර්ෂ 18ක දේශපාලන කාලය තුළ විධිමත් ව හා සංවිධාත්මක ව පාලන තන්ත්‍රය පවත්වා ගෙන ගිය බව සම කාලීන අභිලේඛන ද සාධක සපය යි. මෙතුමා සමස්ථ දිවයිනට ම අසහාය පාලකයකු ලෙස කටයුතු කළ බව එමගින් තහවුරු වේ. එසේ නොවන්නට මෙතුමාට අයත් සෙල් ලිපි උතුර, නැගෙනහිර මෙන් ම දකුණ ආදී පලාත් නියෝජනය වෙමින් හමු නොවන්නට ඉඩ තිබුනි.

මෙතුමාගේ රාජ්‍ය කාලය තුළ බාහිර හෝ අභ්‍යන්තර යුධ අරගලයක් සිදු වූ බවට කරනු ලබන ඉඟියක් හෝ මූලාශ්‍රයවල සඳහන් නොවේ. එසේ වන්නට ඇත්තේ සැබැවින් ම දේශපාලනික වශයෙන් ඔහු දක්වන ලද දක්‍ෂතාව සහ බාවිත කළ දේශපාලන ක්‍රමෝපායන් නිසා විය යුතු ය. රජුගේ පාලන තන්ත්‍රය ක්‍රමවත් ව හා විධිමත් ව පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන විශාල නිලධරයන් පිරිසක් සිටි බව ශිලාලේඛන මගින් තහවුරු කරනු ලබයි. විශේෂයෙන් ම අමාත්‍ය, සේනාපති, අධ්‍යක්‍ෂක හා භාණ්ඩාගාරික, ගණකාධිකාරී ආදී නිලධරයන් පිළිබඳව ප්‍රාමාණික තොරතුරු සම කාලීන අභිලේඛන මගින් සැපයීම එයට හේතුව යි.

කණිට්ඨතිස්ස රජුට අයත් අනුරාධපුර කෞතුකාගාර ලිපියක අමාත්‍යවරයකු හා මහාමාත්‍යයවරයකු ගැන කියැ වේ. (Paranavitana 2001:146) මොවුන්ගේ සහය දේශපාලන කටයුතු වල දී බෙහෙවින් යොදාගත් බව සිතීමට පිළිවන. ඊට අමතරව යුධයම කාර්යයන් සඳහා සේනාව සංවිධාන ක්‍රියාවලියේ නියුක්ත සේනාපති පිළිබඳව තම්මැන්නාව ලිපියේ සඳහන් ය.

1. බලිමහ ම (දක) හි – සේන ප
2. ති – දුබලයහ කළය (Paranavitana 2001:140)

මෙම ලිපියට අනුව සේනාපති තනතුර දැරූ පුද්ගලයා යම්කිසි ප්‍රදේශයක පාලන තන්ත්‍රය මෙහෙය වූ බව පෙනේ. නමුත් සේනාපතිගේ ක්‍රියාවලිය වන්නේ යුධමය අවස්ථාවන්වල දී රජුට සහය දක්වන ප්‍රධාන නිලය හැටියට ය.

කණිට්ඨතිස්ස රජුගේ දේශපාලන පසුබිම වාර්තා කිරීමේ දී වංශකතා කරුවා යම් මැළිකමක් දැක්වුව ද ඔහු දේශපාලන ක්‍රමෝපායන් අනුගමණය කළ ප්‍රබල පාලකයකු ලෙස අර්ථ දැක්වීම යුක්ති සහගත ය. ලයිනමලේ ලිපියට අනුව මෙතුමා ප්‍රදේශීය පාලකයන්ගේ සහය සහිතව තම පාලන තන්ත්‍රය සැම විටම සමබර ව පවත්වා ගෙන යාම සඳහා උත්සහ ගත් පාලකයෙකි. සැම විටම ජනතාවගේ අවශ්‍යතාන් සපුරා ලීමට උත්සහා ගත් ආකාරය ද ලිපියෙහි අන්තර්ගතව ඇත. 

හුවක පළාත නැතහොත් වර්තමාන ඌව පළාත පාලනය කළ හොනක දේවයා ජනතාවගේ දෛනික කටයුතු සඳහා කරදමරය නම් වැවක් නිර්මාණය කොට ඇත (Paranavitana 2001:138). මේ අනුව පැහැදිළි ලෙසම වර්තමාන ඌව පළාත කණිට්ඨතිස්ස රජුට යටත් ව පැවතියා සේම එහි පාලනය හොනක දේවයා පවත්වා ගෙන ගිය බව පැහැදිළි ය.

කණිට්ඨතිස්ස රජුගේ දේශපාලන උපක්‍රමයක් ලෙස එකල පැවති ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන සම්බන්දයෙන් පවත්වා ගෙන ගිය මධ්‍යස්ථ පිළිවෙත හඳුනාගත හැකි ය. මහා විහාර, අභයගිරිය කිසිඳු පාර්ශ්වයකට අන්තගාමී නොවී තම අනුග්‍රහය දැක්වීම හුදෙක්ම දේශපාලන වශයෙන් යොදාගත් උපක්‍රමයක් වන්නට පිළිවන.

ආර්ථික තොරතුරු

ආර්ථික වශයෙන් රට ස්වයංපෝෂිත කිරීම සහ ජනතාවට අවශ්‍යකරන ධනධාන්‍යාදී සම්පත් ලබා දීම පාලකයා සතු වගකීමකි. තම දේශපාලන තන්ත්‍රය මැනවින් පවත්වා ගෙන යාමට ද එය අත්‍යවශ්‍ය සාධකයක් වේ. කණිට්ඨතිස්ස රජුට අයත් අභිලේඛන අධ්‍යයනය කිරීමේ දී පාලකයකු ලෙස ආර්ථිකය මැනවින් පවත්වාගෙන යාම සඳහා කෙතෙක් දුරට උත්සහ ගෙන ඇත්තේ ද යන්න හඳුනා ගත හැකි ය. එය අදියර දෙකක් යටතේ සාකච්ඡා කල හැකි වේ.

  • කෘෂි ආර්ථිකය
  • වෙළෙඳ ආර්ථිකය

කෘෂි ආර්ථිකය

කෘෂිකාර්මික කටයුතු සඳහා යෝග්‍ය උතුර මැද, නැගෙනහිර, වයඹ සහ දකුණ යන ප්‍රදේශවල සාරවත් පස, ගංගා ජලය එක්රැස් කිරීමේ හැකියාව සහ ජලය වගාබිම් කරා ගෙන යාමේ හැකියාව මත මෙකල කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක වූ යුගයකි. එනම් වාරිකර්මාන්තය සහ කෘෂිකර්මාන්තය එක්ව බැඳුණු සැළසුමකට යටත්ව ආර්ථිකය පෝෂණය කිරීම සඳහා උත්සහ ගත් අවධියක් ලෙස අර්ථ දැක්වීම නිවැරදි ය.

ලංකාවේ කෘෂිකාර්මික සමාජයෙහි මහත් විප්ලවයවක් ඇතිකළේ ලම්බකරණ වංශයේ ප්‍රථම පාලකයා වූ වසභ (65-109) රජු විසිනි. ඔහු මහ වැව් නිර්මාණය කොට වාරිමාර්ගයන්ගෙන් ජලය සැපයීම හරහා වසරකට කන්න දෙ වතාවක් හෝ තුන් වතාවක් රට අස්වැදීමේ සංස්කෘතිය ඇතිකිරීම එයට හේතුවයි (විජේසේකර 1990:98). පසු කාලීන පාලකයන් එය ආරක්‍ෂා කළ අතර ම කණිට්ඨතිස්ස රජු ද විශාල වාරි කර්මාන්ත ප්‍රමාණයක් නිර්මාණය කිරීමෙහි දායක වූ බව අභිලේඛන සනාථ කරනු ලබ යි. එහෙත් වංශකතාවේ ඔහුගේ ආගමික ක්‍රියාවන් පිළිබඳව වාර්තා කල ද ඔහු ආර්ථික කටයුතු සඳහා ලබාදුන් දායකත්වය ගැන කිසිදු සඳහනක් දක්නට නොලැබේ. ඔච්චප්පුකල්ලු ගිරි ලිපියෙහි වැව් හතරක් පිළිබඳව තොරතුරු දැක්වෙන අතර, සිතුල්පව්ව ගිරි ලිපියෙහි දක්‍ෂිණ තිස්ස නම් වැවක් පිළිබඳව තොරතුරු සඳහන් වේ (Paranavitana 2001:126,143). කණිට්ඨතිස්ස රජු වැව් නිර්මාණය කලා සේම ඒවා මැනවින් ආරක්‍ෂා කරගෙන යාම සහ අයබදු අය කිරීම ගැනීම සඳහා නිලධරයන් පත්කර තිබූ ආකාරය ගැන ද සඳහන් වේ. මෙතුළින් ගම්‍යවන කරුණක් වන්නේ මෙවැනි විශාල වැව් ප්‍රමාණයක් මිලයට ගෙන සංවර්ධනය කිරීමට නම් රට තුළ ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් තිබිය යුතුය යන්න යි.

මෙම විශාල වාරිකර්මාන්තයට අමතරව වාරිතාක්‍ෂණය උපයුක්ත කරගනිමින් කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව ද සෙල් ලිපිවල තොරතුරු සඳහන් ය. කණීට්ඨතිස්ස රජුට අයත් තම්මැන්නාව ගිරි ලිපියෙහි කුඹුරු හයක් අස්වැද්දීම සඳහා දෙන ලද දීමනාවක් ගැන කියැ වේ. බලිමහමදක නම් වෙල්යාය අස්වැද්දීම සඳහා කණිට්ඨතිස්ස රජු මුදල් පරිත්‍යාග සිදුකොට ඇත (Paranavitana 2001:140). ලයිනමලේ ලිපියෙහි ද මල කෙතක නම් වූ ක්‍ෂේත්‍ර යායක් පිළිබඳව කියැ වේ. මේ අනුව, කණිට්ඨතිස්ස පාලන සමයේ දී ආර්ථිකමය වශයෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා මැදිහත් වීම සිදුව ඇති බව ප්‍රත්‍යක්‍ෂ වේ.

වෙළෙඳ ආර්ථිකය

ආර්ථික පසුබිම පිළිබඳව සාකච්ඡා කිරීමෙ දී කණිට්ඨතිස්ස යුගයේ දී වෙළෙඳ ආර්ථීක කටයුතු මගින් ද ඍජු දායකත්වයක් ලබා දී ඇත. විශේෂ වශයෙන් බදු වර්ග හා බැංකු කටයුතු වෙළෙඳ ආර්ථිකය හැඩ ගැස්වීමෙහි ලා විශාල දායකත්වයක් ලබා දී ඇති බව ශිලා ලේඛන විමර්ශනය කිරීමේ දී සනාථ වේ. ඒ අනුව මෙකල ප්‍රබල ලෙස බදු වර්ග තුනක් ක්‍රියාත්මක වූ බව පෙනේ.

වැව් ජලය ප්‍රයෝජනයට ගන්නෝ ඒ වෙනුවෙන් රජුට හෝ වැව් හිමියාට හෝ දකපති නම් දියබද්දක් ගෙවූහ. කුඹුරු හිමියාට හෝ ඉඩම් හිමියාට හෝ පාලකයාට හෝ බොජියපති නම් භෝජක බද්දක් ගෙවූහ. වැවේ හෝ ඉන් ගලාගිය ඇළෙන් මසුන් අල්ලා ගන්නන් වැව් හිමියාට මතෙර මජිබක නම් බද්දක් ගෙවහ. මේ පති තුන හෙවත් බදු තුන තිපති “තිනි මහපති” යනුවෙන් හැඳින්විනි (විජේසේකර 1980:98).

මෙකල සමාජයේ ක්‍රියාත්මක වූ බදු වර්ග තුන පිළිබඳව සාධක කණිට්ඨතිස්ස රජුට අයත් අභිලේඛන මගින් ද සනාථ වේ. රුවන්වැලි සෑ පුවරු ලිපියේ නකරියාව වැවේ ඇළවල් වලින් ඇල්ලූ මාළු කොටස ද වැවේ තණබිම් ද, භූමි පරිශ්‍රය ද යන ස්ථාන වලින් බදු අය කරගත් බව කියැ වේ (Paranavitana 2001:130). ඊට අමතරව ඔච්චප්පුකල්ලු ලිපිය මගින් ද බදු මුදල් කිහිපයක් පිළිබඳව තොරතුරු සඳහන් ය. 

වෙළෙඳ ආර්ථීකය සංවර්ධනය කළ තවත් අංශයක් වන විවිධ වෙළඳ ගණුදෙනු පිළිබඳව ද සෙල්ලිපි වල තොරතුරු සඳහන් වේ. සිතුල්පව්ව ලිපියට අනුව කහවණු භාවිතය පිළිබඳව තොරතුරු දැක්වේ. කණිට්ඨතිස්ස රජු කහවණු අටසිය තිස් තුනක මිලක් ගෙවා දක්‍ෂිණතිස්සවාපී වැව මිලට ගත් බවක් කියැවේ (Paranavitana 2001:126). මෙමගින් ගම්‍ය වන කරුණක් නම් මෙකල සමාජයේ මුදල් භාවිතය (කහවණු) පැවති බව යි. එසේ මුදල් භාවිත කිරීම සහ විශාල මුදලක් වැය කිරීම හරහා ඉතා දියුණු වෙළෙඳ ආර්ථික රටාවක් පැවති බව පැහැදිළි ය.

ආගමික පසුබිම 

කණිට්ඨතිස්ස රජුට අයත් දැනට සොයාගෙන ඇති සෑම ලිපියක ම අන්තර්ගතව ඇත්තේ විවිධ ආගමික ස්ථාන සඳහා ලබාදුන් පරිත්‍යාග පිළිබඳවයි.

  • නව විහාර සැකසීම
  • ප්‍රතිසංස්කරණ
  • නඩත්තු දීමනා
  • ආගමික උත්සව

කණීට්ඨතිස්ස රජුගේ ආගමික ප්‍රතිපත්ති පිළිබඳව වංශකතා තුළ ද දීර්ඝව සඳහන් වේ. මෙතුමා අභයගිරි විහාරයෙ හි සිදුකළ රත්න ප්‍රාසාද නම් ගෘහයක් කරවීම සහ අබාගිරි මහ පිරිවෙන, මණිසෝම මහ පිරිවෙන ආදී පූජනීය ස්ථාන සඳහා ඉදිකළ නව නිර්මාණ, නඩත්තු කටයුතු, විවිධ පරිත්‍යාග පිළිබඳව කරුණු ඇතුළත් ය (මහවංශය 36:170).

අභිලේඛන විශ්ලේෂණය කිරීම මගින් ද මෙම කරුණ සනාථ වේ. අගනුවරින් බැහැර දුෂ්කර ප්‍රදේශවල පැවති ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා වැඩි අවධානයක් යොමු කළ බව සිතුල්පව්ව ගිරි ලිපිය මගින් සනාථ වේ. දක්‍ෂිණ තිස්ස නම් වැවක් මිලයට ගෙන ආරාම භූමියෙහි පැවති විහාර අංග ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව කියැ වේ (Paranavitana 2001:126). 

මහාවිහාරයට අයත් මහාථූපයේ වියදම් සඳහා තම අනුග්‍රහය ලබාදුන් ආකාරය රුවන්වැලා සෑ ලිපිය මගින් සනාථ කරනු ලබයි (Paranavitana 2001:130). මෙම ලිපියේ පවතින විශේෂත්වය නම් අභිශේකයෙන් පළමු වන වර්ෂය තුළ සිදුකළ පරිත්‍යාගයක් වීමයි. අභයගිරි ථූපයේ කොත සහ ඡත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිදු කළ පරිත්‍යාග පිළීබඳව අභයගිරි ලිපියේ දැක්වේ (Paranavitana 2001:154). ඊට අමතරව විහාරවාසී භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පසය සඳහා දුන් පරිත්‍යාග පිළිබඳව එහි වැඩි දුරටත් කියැ වේ.

කණිට්ඨතිස්ස රජුගේ නව විහාර කර්මාන්තයන් පිළිබඳව මින්විල ලිපිය මගින් කරුණු දක්වයි. මින්විල ප්‍රදේශයේ ආරාමයක් කරවා අභයගිරි විහාරයට පවරන ලද බව සඳහන්ය (Paranavitana 2001:137). ඊට අමතරව මෙතුමා විසින් සිදුකළ නව විහාර කර්මාන්තයක් ගැන ලයිනමලේ පර්වත ලිපිය මගින් ද තහවුරු කරනු ලබයි. මෙතුමා විසින් සිදුකරන ලද නව කර්මාන්ත, ප්‍රතිසංස්කරණ, නඩත්තු කටයුතු වලට අමතරව භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සැළසීම ද විශේෂ වේ. අභයගිරි සිතුල්පව්ව ලයිනමලේ ආදී ලිපි එයට කදිම නිදසුන් වේ.

ඊට අමතරව එකල පැවති විවිධ ආගමික උත්සව පිළිබඳව සහ ඒ සඳහා දක්වන ලද රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව ද තොරතුරු අධ්‍යයනය කළ හැකි වෙයි. නෙළුම් පොකුණ ශිලා ලිපියට අනුව මෙකල පැවති ඉතාම ජනප්‍රිය උත්සවයක් වන අරියවංශ දේශනාව සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දී ඇති බව පෙනේ. ගොසගල මහාආශ්‍රමයෙහි අරියවංශ උත්සවය සඳහා පරිත්‍යාග බොහොමයක් සිදුකොට ඇත (Paranavitana 2001:150). මෙහි දැක්වෙන අන්දමට භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පස අවශ්‍යතා ආවාස පහසුකම්, දේශනා ශ්‍රවණය කිරීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා පරිත්‍යාග එයට ඇතුළුව ඇත. ඒ අනුව, පැහැදිළි වශයෙන් ම කණිට්ඨතිස්ස රජු අරියවංශ දේශනාව පැවැත්වීමේ දී රාජ්‍ය අනග්‍රහය නොමඳව ලබා දී ඇති බව සනාථ වේ.

වංශකථා සහ අභිලේඛන සාධක විශ්ලේෂණය කර බැලීමේ දී පෙනීයන්නේ කණිට්ඨතිස්ස චරිතය දේශපාලනික, ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් විශාල මෙහෙයක් සිදුකළ සාර්ථක පාලකයකු මෙන්ම යහපත් පාලකයකු වන බව ය.  

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  • දීපවංසය (1997), (සංස්) කේ. චන්ද්‍රදාස, ගොඩගේ සහ සමාගම, කොළඹ.
  • මහාවංසය (1967), (සංස්) ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත පඬිතුමා, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය (1995), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, පර්යේෂණාංශය.
    විජේසේකර, එන්. 1990. අභිලේඛන දෙවන වෙළුම සමරු පොත් පෙළ, සත සංවත්සරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • Paranavitana. S. (2001), Inscription of Ceylon, vol 2, part II, Department of archaeology, Colombo.
-------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.12.31 දින  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

දකුණු ආසියාතික ඉතිහාසය හා පුරාවිද්‍යාව වෙනුවෙන් විප්ලවීය ශ‍්‍රී ලංකා ගිනිපුපුර

නාමල් කොඩිතුවක්කු

ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ‌කොළඹ 7.

පරිවර්තනය : චන්දිම බණ්ඩාර අඹන්වල විසිනි

සංක්‍ෂිප්තය 

ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, නේපාලය, තිබ්බතය හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ බොහෝ ප‍්‍රදේශවල වර්තමානිකයින්ගේ මුතුන්මිත්තන් විසින් බ‍්‍රාහ්මී නමින් හඳුනාගන්නා අක්‍ෂර මාලාව භාවිත කරන ලදී. මෙම බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ඉන්දියාවේ අසෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයට අනුයාත ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවස කාලයේ දී ප‍්‍රභවය වූ බව මේ දක්වා පිළිගෙන ඇති මතයයි. 

අනුරාධපුරයේ මෑත කාලීනව සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් මඟින් බ‍්‍රාහ්මී ලේඛනයන්ගේ ප‍්‍රභවය ක‍්‍රිස්තු පූර්ව 6 – 5 වැනි සියවස් දක්වා ආපස්සට ගමන් ගන්නා බවට, නොමැති නම් තවත් සියවසක් හෝ පැරණි බවට ස්ථිර සාධක අනාවරණය වී ඇත. මෙම සාධක සම කාලීන දකුණු ඉන්දියානු සාධක සමඟ සන්ථාපනය කර ඇත. මෙහි ඵලය වශයෙන් දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ලේඛන ක‍්‍රමයන්ගේ ප‍්‍රභවය හා ඒ හා සහසම්බන්ධ නාගරික ශිෂ්ටාචාරයේ ප‍්‍රවර්ධනය පිළිබඳ නැවත සිතීමට එනම් සුසමාදර්ශිය වෙනසකට බලකර සිටියි.

මුඛ්‍ය පද : බ‍්‍රාහ්මී අක්‍ෂර, ප‍්‍රභවය, කාලනීර්ණ, අනුරාධපුරය

ආචාර්ය සිරාන් දැරණියගල

1988 වසරේ දී ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය සිරාන් දැරණියගල විසින් ඓතිහාසික ලංකාවේ පරිපාලන මධ්‍යස්ථානය වන අනුරාධපුර ඇතුළු නගරයේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් සිදු කරන ලදී. වර්තමාන පොළොවේ මතුපිට මටට්මේ සිට ආසන්න වශයෙන් අඩි 30ක් පමණ ගැඹුරට සිදුකරන ලද මෙම කැනීම් මඟින් අනුරාධපුරයේ ජනාවාසකරණයේ ප‍්‍රභවය පිළිබඳ පැවති අදහස් විමසා බැලිමට අවස්ථාව උදා විය. මේ දක්වා පැවති අදහස් අභිබවනය කරමින් වෙනත් තත්ත්වයක් ඉස්මතු කිරීමට මේ මඟින් හැකි වූ බව විශ්වාස කෙරේ. අක්කර 35-65 අතර භූමි වපසරියක ව්‍යාප්ත වී පැවති විශාල ගම්මානයක් නියෝජනය වන ජනාවාස ප‍්‍රදේශයේ ආරම්භය රේඩියෝ කාබන් කාලනීර්ණ අනුව ක‍්‍රිස්තු පූර්ව 900 කාලයට ස්ථාපනය කිරීමට හැකි වී ඇත. යකඩ මෙවළම්, වී ගොවිතැන, අනර්ඝ තත්ත්වයේ මැටි භාජන හා අශ්වයින් හා ගවයන් ඇති කිරීම (Deraniyagala 1990, 1992; Deraniyagala & Abeyratne 2000) යනාදිය ඇතුළත් සංස්කෘතික ද්‍රව්‍යය සංචිතය මඟින් මේ බව පැහැදිලි කෙරේ.

ක‍්‍රිස්තු පූර්ව 700 පමණ වන විට අක්කර 125ක වපසරිය ඉක්මවමින් අනුරාධපුර ඇතුළු නගරයේ ජනාවාසය ව්‍යාප්ත වී පැවති අතර ක‍්‍රිස්තු පූර්ව 500 පමණ වන විට ආසන්න වශයෙන් අක්කර 180ක පමණ භූමි ප‍්‍රමාණයක මෙම ජනාවාසය ව්‍යාප්ත විය. ක‍්‍රමානුකූල ව, ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී එනම් දේවානම්පියතිස්ස රජුගේ හා මෞර්ය අසෝක අධිරාජ්‍යයාගේ කාලය වන විට අනුරාධපුර ඇතුළු නගරය එහි උපරීම වර්ධනය පෙන්නුම් කරන ලද අතර මේ වන විට එහි ව්‍යාප්තිය අක්කර 250ක් පමණ විය. මේ අවස්ථාව වන විට කලාපීය වශයෙන් සලකා බැලිමේ දී උතුරු ඉන්දියාවේ උජ්ජෙයිනි නගරයට දකුණින් පිහිටි විශාලම නගරය බවට අනුරාධපුරය පත් වී පැවතිනි (Allchin 1995:208).

අනුරාධපුර ඇතුළු නගරයේ සැලැස්ම

මූලික වශයෙන් ඉන්දියාවේ උතුරු කලාපයේ ගංගා නම් ගඟේ නිම්නයේ ක‍්‍රිස්තු පූර්ව 1,000 සිට ඉදිරි කාලයේ දී සිදු වූ නාගරික වර්ධනය කෞසම්භි නගරය මඟින් පෙන්නුම් කරනු ලබයි. මෙය ඉන්දියානු උප මහාද්වීපික කලාපයේ නගර වර්ධනය පිළිබිඹු කරයි. මෙසේ ලංකාවේ ඇති වූ සංස්කෘතික පිබිදීම ඉන්දියානු කලාපයේ දෙ වැනි නාගරීකකරණ අවස්ථාව වශයෙන් හඳුනාගනු ලැබ ඇත. අනුරාධපුරය සම්බන්ධ ඉහත කී සාධක අර්ධද්පික ඉන්දියාවේ මධ්‍යම හා දකුණු කලාපයේ සාධක සමඟ නොසැසඳුන ද උතුරු ඉන්දීය නාගරික මධ්‍යස්ථානයන්ගෙන් අනාවරණය වන සාධක සමඟ සමාන්තර වර්ධනයක් සිදු වූ බව පෙන්නුම් කරනු ලබයි. මෙම විසදෘෂතාව ගෝලීය වශයෙන් ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින් අතර තීව‍්‍ර සංවාදයක් ඇති කිරීම සඳහා හේතුපාදක වී ඇත.

ආචාර්ය දැරණියගලයන්ගේ ව්‍යාපෘතිය මඟින් පූර්ව බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කර ඇති එකිනෙකට වෙනස් භාජන හතකට අයත් මැටි බඳුන් කොටස් අනාවරණය කරගත හැකි වීම මඟින් එක් තීරණාත්මක සාධක ප‍්‍රමාණයක් හෙළිදරවු වී ඇත (දකුණු ආසියාතික කලාපයේ පළමුවෙන් ම භාවිත කරන ලද අක්‍ෂර වශයෙන් බ‍්‍රාහ්මී අක්‍ෂර සැලකේ). එකිනෙකින් වෙන් වූ පුරාවිද්‍යාත්මක කැනීම් පරිශ‍්‍ර ද්විත්වයක් මඟින් රේඩියෝ කාබන් කාලනීර්ණ මඟින් ක‍්‍රිස්තු පූර්ව 600-500 අතර කාලයට කාලනීර්ණය කර ඇති මෙම මැටි භාජන කොටස් ඒ පිළිබඳ අපගේ බුද්ධියේ නිම්වළලුු ප‍්‍රසාරණය කිරීමට සමත් වී ඇත (Deraniyagala 1990, 1992; Deraniyagala & Abeyratne 2000).

අනුරාධපුර ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ 1988 වසරේ දී සිදුකළ කැනීමෙන් අනාවරණය වූ අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් [බියඅනුරධ]

දකුණු ආසියානු කලාපය පිළිබඳ කීර්තිමත් පුරාවිද්‍යාඥ කේමිබි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එෆ්. ආර්. ඕල්චින් විසින් පහත දැක්වෙන චිරස්ථායි අදහස් පළකර ඇත (Allchin 2006:453).

… ජේම්ස් ප‍්‍රින්සෙප් විසින් අසෝක අභිලේඛන කියවා වසර සියයකුක් තවත් අඩක් ගත වී ඇතත් මේ වන තෙක් කිසිම ස්ථානයකින් අසෝකට පෙර කාලයට අයත් හෝ එසේ ඔප්පු කළ හැකි කිසිදු අභිලේඛනයක් අනාවරණය කරගැනීමට හැකි වී නැත (අසෝක අධිරාජ්‍යයා ක‍්‍රිස්තු පූර්ව 274 – 232 කාලයේ සිටි බව පිලිගෙන ඇත.)

නමුත් අනුරාධපුරයෙන් ලැබුණු සාධක ඉහත කී දැක්ම සමඟ විසංවාදී තත්ත්වයක් ඇති කිරීමට අවශය අනුබලය සපයා ඇත. එකී ධාරණාවන් අන්තර්ගත ප‍්‍රකාශන (Deraniyagala 1990, 1992, 2000) විද්වතුන් අතර විශේෂයෙන් ඉතිහාසඥයන් අතර සැලකිය යුතු සැකයක් ජනනය කිරීමට හේතු වී ඇත.

මහාචාර්ය ඉරවතම් මහාදේවන්

ඉන්දියාවේ අභිලේඛන පිළිබඳ ප‍්‍රමුඛ විශාරදයෙකු (හා ඉන්දියේ බිහි වූ විශිෂ්ටම විද්වතුන් අතුරින් අයෙකු වශයෙන් සැලකෙන (Patel 2010)) වන ඉන්දීය පුරාවිද්‍යා සමීක්‍ෂණයේ විශ‍්‍රාමික අභිලේඛනඥ මහාචාර්ය ඉරවතම් මහාදේවන් මහතා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු ව්‍යතිරේඛයක් ඉදිරිපත් කර ඇත. ආචාර්ය දැරණියගලයන් විසින් 1992 වසරේ දී සිදුකරන ලද ප‍්‍රකාශනය පරිශිලනය කිරීමෙන් අනතුරුව 1997 සැප්තැම්බර් 11 වැනි දින පහත දැක්වෙන ලිපිය ආචාර්ය දැරණියගල වෙත ඔහු එවා ඇත.

හිතෛෂි ආචාර්ය දැරණියගල,

ඔබ විසින් අගෝස්තු 6 වැනි දාතම යටතේ එවන ලද ලිපිය සමඟ මා වෙත එවන ලද ඔබගේ පත‍්‍රිකාවේ පිටපත වෙනුවෙන් අතිශයින් කෘතඥ වෙමි. දක්වා ඇති අදහස් අනුව එමඟින් අතිශය ගැඹුරු විප්ලවීය තත්ත්වයක් ජනනය කරන බව පෙනී යයි. මේ සම්බන්ධව ඇති එකම ගැටලුුකාරි තත්ත්වය වන්නේ මේ සම්බන්ධ සාධක මේ වන තෙක් ඉන්දියාවෙන් අනාවරණය වි නොතිබීමයි. මතු යම් දිනක ඉහත ගැටලුුව විස‌ඳෙන්නේ ද ඔබගේ විප්ලවය එදිනට මුදුන්පත් වනු ඇත. [අවධාරණය මුල් ලිපියේ කතුවරයා විසිනි]

ඔබගේ හිතවත්,
අයි. මහාදේවන්

මේ අතරතුර, අනුරාධපුරයෙන් අනාවරණය වූ ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් ලේඛනයන්ගේ වලංගුතාව හා පෞරාණිකත්වය පිළිබඳ ඉතිහාසඥයින් (ප‍්‍රාථමික මට්ටමින්) හා පුරාවිද්‍යාඥයින් කීපදෙනෙකු විසින් දක්වන ලද සංකා සහගත මත (අප‍්‍රකාශිත) විමර්ශනය කිරීමේ අරමුණින් ආචාර්ය දැරණියගලගේ යෝජනාවක් අනුව ම ඔහුගේ නිගමනයන් පරික්‍ෂා කිරීමේ අරමුණින් එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසකට ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් ආරාධනා කරන ලදී. එෆ්. ආර්. ඕල්චින්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු ව ඔහුගේ සහායක රොබින් කොනිග්හැම් (ලුුම්බිණි කැනීම හේතුවෙන් වර්තමානයේ බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත් වී ඇති) ආචාර්ය දැරණියගල විසින් සිදුකරන ලද එක් කැනීම් ස්ථානයක් වූ සල්ගහවත්ත කැනීම 1989 සිට 1992 දක්වා තවදුරටත් පුළුල් කරන ලදී (Deraniyagala 1989, Coningham 1999, 2006). අදාළ කැනීම්හි ප‍්‍රතිඵළ අචාර්ය දැරණියගලයන් විසින් සිදුකරන ලද අනාවරණය කිරීම් ඒකාන්ත වශයෙන් ම තහවුරු කරන ලදී. ඒ අනුව, ක‍්‍රිස්තු පූර්ව 450 හෝ ඊට පෙර කාලයට කාලනීර්ණ කළ හැකි පාංශූ ස්ථරයන් තුළින් බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටිභාජන කොටස් සොයා ගැනීමට හැකි විය (Coningham & Allchin 1995: 176; Allchin 2006). මෙම කාලනීර්ණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරන ලද කාලනීර්ණයන්ට සුළු ප‍්‍රමාණයකින් පමණක් මෑත කාලීන වුව ද ඕල්චින්ගේ ඉහත ප‍්‍රකාශයෙන් දක්වා ඇති ප‍්‍රකාශය අභිබවනය කරමින් අසෝක අධිරාජ්‍යයාට සියවස් කීපයක් පූර්ණ කාලීන වේ.

ආචාර්ය දැරණියගල හා බි‍්‍රතාන්‍ය කණ්ඩායම විසින් සිදුකරන ලද පර්යේෂණාත්මක අනාවරණය කිරීම් සඳහා වාග්විද්‍යාත්මක පර්යාවලෝකනයක් හෙළමින් අනර්ඝ බහු විෂයාත්මක කෘතියක් පළ කළ අග‍්‍රගණ්‍ය ඉන්දීය වාග්විද්‍යාඥ පී.ජී. පටෙල්ගේ කොන්දේසි විරහිත එකඟතාව (Patel 2010) පළ වී ඇත.

මෙම ආඛ්‍යානයේ ඊලඟ කොටස ඉහත දැක් වූ මහාදේවන්ගේ අදහස් දැක්වීම හා අනුගාමි කටයුත්තකි. පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් හා ඔහුගේ කණ්ඩායම විසින් තමිල්නාඩුවේ කොංගු ප‍්‍රදේශයේ පිහිටා ඇති කොඩුමනාල් හා පොරුන්තාල් (Rajan et al. 2014) යන මුල් යකඩ යුගයට අයත් ස්ථාන දෙකක් කැනිම් කරන ලදී. කොඩුමනල් කැනීමෙන් අනාවරණය වූ බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටි බඳුන් නිදර්ශක දෙකක් සඳහා පිළිවෙලින් ක‍්‍රිස්තු පූර්ව 408 හා 330 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ දෙකක් (අංක ශෝධනය නොකරන ලද) ඔහු විසින් ලබා දී ඇත. (සැලකිය යුතුයි. කැලැන්ඩර් දින මීට වඩා පූර්ව කාලීන වේ.) පොරුන්තාල් කැනීම මඟින් බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටිබඳුුන් ගැටි කොටස් දෙකක් අනාවරණය විය. එයින් එකක් සඳහා ක‍්‍රිස්තු පූර්ව 490 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ (අංක ශෝධනය නොකරන ලද) ලැබී ඇත. මේ මඟින් නැවත වරක් කොඩුමනාල් දිනනීර්ණයන්ට වඩා පූර්ව කාලීන දින නියමක් හඟවනු ලැබේ. මේ සම්බන්ධයෙන් රාජන් හා අනෙක් අය (Rajan et al. 2014:82) පහත විනිශ්චය දක්වා ඇත.

කොඩුමනාල් ස්ථානයේ සිදුකළ කැනීමෙන් බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් අනාවරණය වූ ආකාරය (‌මෙම ඡායාරූපය https://www.thehindu.com ‌වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

පොරුන්තාල් හා කොඩුමනල් වලින් ලැබුණු මෙම කාලනීර්ණ බ‍්‍රාහ්මී ලේඛනවල කාලනීර්ණය නිසැක වශයෙන් ම අසෝක යුගයට වඩා අවුරුදු දෙ සියක් ඈත කාලයට ගෙනයයි. මෙම බ‍්‍රාහ්මී ඉන්දියාවේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය පිළිබඳ අදහස් නැවත විපරම් කිරීමට අපව පොළඹවනු ලබයි.

පොරුන්තාල් ස්ථානයේ කැනීම් අතරතුර (‌මෙම ඡායාරූපය https://www.frontline.in ‌‌වෙබ් අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.)
පොරුන්තාල් කැනීමෙන් අනාවරණය වූ බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් ‌කොටසක් (මෙම ඡායාරූපය ‌https://www.frontline.in වෙබ් අඩවියෙන් උපුටා ගත් බව කාරුණිකව සලකන්න)

රාජන් ඇතුළු කණ්ඩායමේ මෙම අනාවරණය කිරීම් මහාදේවන්ගේ ප‍්‍රකාශය වෙත අප නැවත කැඳවාගෙන යනු ලබයි. “මේ සම්බන්ධව ඇති එකම ගැටලුකාරි තත්ත්වය වන්නේ මේ සම්බන්ධ සාදක මේ වන තෙක් ඉන්දියාවෙන් අනාවරණය වි නොතිබීමයි. මතු යම් දිනක ඉහත ගැටලුව විසඳෙන්නේ ද ඔබගේ විප්ලවය එදිනට මුදුන්පත් වනු ඇත.” 1988 දී ලංකාවෙන් අනාවරණය වූ සාධක සනාථ කරන අන්දමේ සාධක මේ වන විට ඉන්දියාව සම්පාදනය කිරීමට සමත්ව ඇත. මෙම සාධක ඇත්ත වශයෙන් ම අසෝක අධිරාජ්‍යයාගේ කාලයට වඩා වසර සියවස් කීපයක් ඉහත කාලයට අයත් වේ. ඒ අනුව මහාදේවන් විසින් පූර්වකල්පනය කරන ලද විප්ලවය දැන් සමර්ථනය වී ඇත.

ලේඛන ක‍්‍රමයක් අත්පත්කර ගැනීම තුළින් ඕනැම සංස්කෘතියක තොරතුරු තාක්‍ෂණයේ විශාල පිම්මකින් වර්ධනය වන බව පිළිබිඹු කෙරේ. ආචාර්ය දැරණියගල විසින් අනුරාධපුරය සම්බන්ධයෙන් ස්ථාපනය කරනු ලැබූ දකුණු ආසියාතික කලාපයේ ලේඛන ක‍්‍රමයන්ගේ ප‍්‍රභවය පිළිබඳ මේ නව කාලනීර්ණ තුළින් දකුණු ආසියානු කලාපයේ පුරාවිද්‍යාව පිළිබඳ සුසමාදර්ශීය වෙනසක් ස්ථාපනය කර ඇත (Premathilake & Senevirathne 2015). ඉන්දියාවේ මූල ඓතිහාසික අවධියේ ආරම්භය පිලිබඳ සාම්ප‍්‍රදායික අදහස වූ ක‍්‍රිස්තු පූර්ව තෙ වැනි සියවසේ අසෝක අධිරාජ්‍යයාගේ පාලන කාලය හා සමාන්තර වේ යන අදහස ක‍්‍රිස්තු පූර්ව 6-5 වැනි සියවස් හා සමාන්තර වශයෙන් පුනර්ස්ථාපනය කිරීමට හැකි වන බව සැලකිල්ලට ගතයුතු වේ (Rajan et al. 2006: Premathilake & Senevirathne 2015). අනුරාධපුරයෙන් අනාවරණය වූ අක්‍ෂර සටහන් කර ඇති මැටිබඳුන් කොටස් සොයාගැනීමේ වැදගත්කම හා එහි බලපෑම සැසදිය හැක්කේ 19 වැනි සියවසේ දී මහාවංසය පළමු වැනි වරට අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් පමණී. ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මාතාවට අභිමානයක් ඇති කරගැනීමට හැකියාව උදා වී ඇත.

ආචාර්ය සිරාන් දැරණියගල තමන් විසින් සිදුකරන ලද අනුරාධපුර ඇතුළු නගරයේ පර්යේෂණ ව්‍යාපෘතිය ලබාදුන් සහයෝගය වෙනුවෙන් එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය රෝලන්ඞ් සිල්වාට තම කෘතඥතාව පළ කරයි. එ මෙන් ම ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාකෘති නියැදිකරණය හා ඒවායේ ආදර්ශවත් නිවැරදි සන්දර්භ පිලිබඳ බෙහෙවින් පෙළඹීගිය දැනුමක් ඇති ඇල්ෆ‍්‍රඩ් ද මැල් විසින් පෙරමුණ ගන්නා ලද විශිෂ්ට කැනීම් පර්යේෂණ කණ්ඩායම වෙත ද තම අවංක ස්තූතිය පළ කරනු ලබයි.

පසු සටහන: අක්කර 250ක් පුරා ව්‍යාප්ත වූ ආයත චතුරස‍්‍රාකාර අනුරාධපුර ඇතුළු නගරය තූපාරාමය හා කුට්ටම් පොකුණ අතර ස්ථානගත වී ඇත. මෙම බිම්කඩ කිසිදු විවාදයකින් තොරව ශ‍්‍රී ලංකාවේ වැදගත්ම පුරාවිද්‍යාත්මක ක්‍ෂේත‍්‍රය වශයෙන් සැලකිය හැකි වේ. මෙම බිම්කඬේ තැම්පත් වී ඇති අගනා සංස්කෘතික තැම්පතු අතුරින් මේ දක්වා කැනීම් සිදුකර ඇත්තේ 1/10,000කට ආසන්න ප‍්‍රදේශයක් පමණි. ආසන්න වශයෙන් අඩි 30ක් පමණ ගැඹුරේ ආකූළ නොවූ පස් තැම්පතු පවතී. මෙම භූමියේ සිදුවන්නා වූ අධිකතර විනාශකාරි ක‍්‍රියා හමුවේ මෙ ක්‍ෂේත‍්‍රය පුරාවස්තු ආඥාපනත මඟින් ආරක්‍ෂා කරනු ලැබේ. මෙහි පවතින පුනර්ජනනය කළ නොහැකි සම්පතේ ඇතිවන්නා වූ උග‍්‍ර විනාශකාරි තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ශ‍්‍රී ලංකා මාතාව ඒ දෙස අපේක්‍ෂා සහගතව බලා සිටී.

ලේඛන නාමාවලිය

  • Allchin, F.R. (1995). The Mauryan state and empire. In Allchin (ed.) 1995:187-221.
  • Allchin, F.R. (2006). Inscriptions and graffiti. In Coningham (2006): 431-455.
  • Allchin, F.R. ed (1995). The Archaeology of Early Historic South Asia: The Rise of Cities and States. Cambridge: Cambridge University Press.
  • Coningham, R.A.E. (1999). Anuradhapura: the British-Sri Lankan Excavations at Anuradhapura Salgaha Watta 2. Vol. 1: the site. British Archaeological Reports (Int. Ser. 824. Oxford: Archaeopress).
  • Coningham, R.A.E. (2006). Anuradhapura: the British-Sri Lankan Excavations at Anuradhapura Salgaha Watta 2. Vol. 2: the artifacts. British Archaeological Reports (Int. Ser. 1508. Oxford: Archaeopress).
  • Coningham, R.A.E. & F.R. Allchin (1995). The rise of cities of Sri Lanka. In Allchin (ed.): 152-184.
  • Deraniyagala, S.U. (1990). Radiocarbon dating of Early Brahmi script in Sri Lanka: 600-500 BC. Ancient Ceylon 12: 150-168.
  • Deraniyagala, S.U. (1992). The Prehistory of Sri Lanka: an ecological perspective, 2nd ed. Addenda II, III. Colombo: Archaeological Department.
  • Deraniyagala, S.U. & M. Abeyratne (2000). Radiocarbon dating of Anuradhapura, Sri Lanka: a revised age estimate. In Taddei & De Marco (ed.) 2000: 759-797.
  • Patel, P.G. (2010). The Brahmi Writing System: Cross-Fertilizing Epigraphy, Archaeology and Linguistics. New Delhi: Black & White.
  • Premathilake, T.R. & S. Senevirathne (2015). Cultural implication based on pollen from the ancient mortuary complex in Sri Lanka. Journal of Archaeological Sciences 53 (2015): 559-569.
  • Rajan, K., V.P. Suresh Kumar, S. Selvakumar, R. Ramesh & P. Balamurugan (2013). Archaeological Excavations at Porunthal, District Dindugul, Tamil Nadu. Man and Environment 38(2): 62-85.
  • Taddei, M. & G. De Marco (ed.) (2000). South Asian Archaeology, vol. 2. Rome: Istituto Italiano per l’Africa e l’Oriente.

ලේඛකයා පිළිබඳ ව : කේ.ඒ.එස්. නාමල් කොඩිතුවක්කු – ශාස්ත‍්‍රවේදී (ගෞරව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය), පුරාවිද්‍යා ඩිප්ලෝමා (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය), පුරාවිද්‍යාව පිලිබඳ විද්‍යාපති (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය), වැඩබලන අධ්‍යක්‍ෂක (අභිලේඛන විද්‍යා හා නානක විද්‍යා, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව), සාමාජික, (ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව)

පරිවර්තක පිළිබඳ ව : චන්දිම බණ්ඩාර අඹන්වල – ශාස්ත‍්‍රවේදී (විශේෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ස්මාරක හා ක්‍ෂේත‍්‍ර වාස්තුවිද්‍යා සංරක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලොමා (මොරටුව විශ්වවිද්‍යාලය), පුරාවිද්‍යාව පිලිබඳ විද්‍යාපති (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය), ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, (ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), සාමාජික, (ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව), යාවජීව සාමාජික, (ශ‍්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය), සම ප‍්‍රාරම්භක හා ප‍්‍රධාන සංස්කාරක, (archaeology.lk)

-------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.11.19 දින  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

ඉතිහාස ගුරුවරුන්ට පාසැල් වල ඉතිහාසය විෂය හා එය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුව

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මීට ඉහතදී උපාධිධාරී ගුරුවරුන් සඳහා පැවැත්වූ කලා ඉතිහාසය පිළිබඳ වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාවක් ලෙස පාසල්වල ඉතිහාස විෂය උගන්වන උපාධිධාරී ගුරුවරුන් ට ඉතිහාසය විෂය හා එම විෂය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුවක් එම ආයතනය විසින් සංවිධානය කර ඇත. මෙම වැඩමුළුව 2018 නොවැම්බර් මස 25 වන දින උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා එම ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ ( තේ සහ දිවා ආහාරය සපයනු ලබයි) පවත්වන වැඩමුළුවකි.

මෙම වැඩමුළුවේදී ඉතිහාසය විෂය, එම විෂය ඉගැන්වීම හා ඉතිහාසය විෂය මාලාව පිළිබඳ පිළිබඳ ඇති ගැටලු සාකච්ඡා කළ හැකි ය.

කලා ඉතිහාසය පිළිබඳ වැඩමුළුවට සහභාගි වූ ගුරුවරුන්…

වැඩමුළුවට සම්පත්දායකයින් ලෙස එම ආයතනයේ කථිකාචාර්යවරු සහභාගීවේ.

සම්පත් දායකයන්

  • ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක
  • මහාචාර්ය රාජ් සෝමදේව
  • ආචාර්ය ඩී. පී. ගම්ලත්
  • කථිකාචාර්ය රංජිත් බණ්ඩාර

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දැක්මට අනුව පුරාවිද්‍යාව හා ඊට සම්බන්ධ විෂයයන් ගේ නවතම දැනුම සන්නිවේදනය කිරීමේ අරමුණින් සංවිධානය කරන මෙම වැඩමුළුවට සහභාගි වී ඔබගේ දැනුම වැඩිදියුණු කරගනිමින් පාසල් සිසුන් සදහා ලබාදෙන සේවාව තවත් ඉහළ මට්ටමින් ලබාදීමට ඔබට ලැබෙන මෙම මහඟු අවස්ථාව මග නොහරින්න.

මෙම වැඩසටහනට අයදුම්පත් ඉදිරිපත් කරනා ප්‍රමුඛතාව මත ගුරුවරුන් පනස් දෙනෙකු තෝරාගනු ඇත.

ඒ සඳහා පහත සඳහන් අයදුම්පත සම්පූර්ණ කරන්න. ඔබ භාවිත කරන නිවැරදි ඊමේල් ලිපිනයක් සඳහන් කරන්න. මෙම වැඩසටහන පිළිබඳ ඉදිරි ගණුදෙනු සියල්ල ඊමේල් හරහා සිදුකරනු ලබයි. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 2018 නොවැම්බර් මස 21 වන දින වන අතර ඔබගේ තෝරා ගැනීම 2018 නොවැම්බර් මස 22 දින දැනුම් දෙනු ලබයි.

මෙම වැඩමුළුව පිළිබඳ තොරතුරු දැනගැනීමට දුරකථන අංක 0774809173 ඔස්සේ අශෝක පෙරේරා මහතා අමතන්න.

මෙම අයදුම්පත පිළිබඳ ගැටලුවක් ඇත්නම් දුරකථන අංක 077 742 8282 හරහා archaeology.lk අමතන්න.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
407, බෞද්ධාලෝක මාවත
කොළඹ 7 (බෞද්ධ සම්මේලනය ඉදිරිපස)

ගූගල් සිතියම් මත ස්ථානය බලා ගැනීමට මෙම දිගුවට යන්න.

[contact-form-7 id=”4485″ title=”ගුරුවරුන්ට පාසැල් වල ඉතිහාසය විෂය හා එය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුව සඳහා අයඳුම්පත”]

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම

ඩී. තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

හැඳින්වීම

ඩී. තුසිත මැන්දිස්

ශ‍්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period), ප‍්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශන හා කැනීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992:709-710; Deraniyagala 2007:4). මධ්‍ය ශිලා අවධියට පසුව එළිඹිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප‍්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka 2003; Wijepala in Deraniyagala  2007:59; Wijepala 2007:97-120). ප‍්‍රකාශ කර තිබුණ ද එම සාධක ප‍්‍රමාණය නව ශිලා යුගය පිළිගැනීමට තරම් තීරණාත්මක නොවන බව විද්වත් මතය වී තිබේ. ශ‍්‍රී ලංකාවේ ආදිතම සංස්කෘතික අවධි තුළ මානවයා සිය ජීවිතය ගතකරන සමයේ දී තමන් සමඟ ජීවත් වූ සිය නෑ හිතමිතුරන් මියගිය විට භූමදානය සඳහා විවිධ අභිචාරමය කටයුතු සිදු කර ඇති ආකාරය ඇති ආකාරය පුරාවිද්‍යා පර්යේෂණ තුළින් හඳුනාගෙන තිබේ. අනාදිමත් කලක සිට ශ‍්‍රී ලංකාවේ සිදු වූ මෙම භූමදාන කටයුතු හෙවත් ශවෝපාචාර ක‍්‍රම හා ඒ සම්බන්ධ ව අනාවරණය කරගෙන ඇති කරුණු පිළිබඳ ව මෙම රචනයෙන් විමසා බලනු ලැබේ. විශේෂයෙන් ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධිය තුළ මේ සම්බන්ධ ව අධ්‍යයනයේ දී ලිඛිත සාධක නොමැති නිසා ඒ සඳහා පුරාවිද්‍යා මූලාශ‍්‍රය පමණක් භාවිත කිරීමට සිදු වේ.

බලංගොඩ මානවයාගේ අභිචාර, සුසාන චාරිත‍්‍ර

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුග අතුරින් මෑත කාලීන ව විස්තරාත්මක ව කරුණු අනාවරණය කරගෙන ඇත්තේ මධ්‍ය ශිලා යුගය හෙවත් බලංගොඩ සංස්කෘතිය තුළිනි. මධ්‍ය ශිලා යුගය පිළිබඳ සාධක අනාවරණය වන ස්ථාන වශයෙන් ඉරණමඩු පාංශූ සංකීර්ණය මෙන් ම ගුහා නිධි වැදගත් වේ. ගුහා නිධි අතර කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, බුලත්සිංහල ෆාහියන්ලෙන, වරකාපොළ දොරවකකන්ද, අත්තනගොඩ අළුලෙන, බෙලිලෙන-අතුළ, සීගිරිය අසල පොතාන හා අලිගල, අත්තනගල්ල පොත්ගුල්ලෙන, එළිමහන් ස්ථාන ලෙස බෙල්ලන්බැඳිපැලැස්ස, පල්ලෙමළල, මහඑළිය, වෙස්සගිරිය, ජේතවනය, මාතොට, අනුරාධපුර ඇතුළුනුවර, මිණීඇතිලිය ආදී ස්ථාන රාශියක් වැදගත් වන බව පෙන්වාදිය හැකි ය (Deraniyagala 1992:709-710; Mendis 2016:16-20). ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය සමබන්ධයෙන් මෙතෙක් ලැබී ඇති විද්‍යාත්මක කාලනීර්ණ ලෙස බුලත්සිංහල ෆාහියන්ලෙන අදින් වසර 48000, කුරුවිට බටදොඹලෙන අදින් වසර 37000, කිතුල්ගල බෙලිලෙන අදින් වසර 31000, අත්තනගොඩ අළුලෙන අදින් වසර 10350, බෙලිලෙන අතුළ අදින් වසර 8230, කුරුවිට බටතොට දහයියාලෙන අදින් වසර 7680, බෙල්ලන්බැඳිපැලැස්ස අදින් වසර 12000-6500, මිනීඇතිලිය අදින් වසර 6000, අනුරාධපුර අදින් වසර 5900, මාතොට අදින් වසර 3800, සීගිරිය අසළ පොතාන අදින් වසර 5800, අලිගල අදින් වසර 5500 වශයෙන් ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය යුගය සම්බන්ධයෙන් කාලනීර්ණ ලැබී තිබේ (Deraniyagala 2007:3-7; Adikari 1994; Perera 2010). මෙම යුගයට අයත් ව එළිමහන් වාසස්ථාන හා ලෙන් තුළින් හමුවන භෞතික සාධක අතර මානව සැකිළි අතිශයින් ම වැදගත් වන අතර එ මඟින් මධ්‍යශිලා මානවයාගේ ශවෝපාචාර ක‍්‍රම පිළිබඳ ව අධ්‍යයනයන් කිරීමට ද හැකි වී තිබේ. බලංගොඩ මානවයාගේ අභිචාර හා සුසාන චාරිත‍්‍ර පිළිබඳ පිළිබඳ ව විමර්ශනයේ දී ඔහුගේ භූමදාන කටයුතු වැදගත් වන අතර මිනිසකු මියගිය විට ඔවුන් වළ දමා තිබීම ඒ අතරින් ප‍්‍රමුඛ වේ.

පොතානෙන් හමුවන මධ්‍ය ශිලා මානව සැකිළි නමා හකුළා වල දමා ඇති ආකාරය (Perera 2010)

මියගිය පුද්ගලයකු වල දැමීමේ දී නමා හකුළා වල දැමිම හෙවත් උක්කුටියෙන් වල දැමීම විශේෂ කරුණක් වන අතර ඒ බව බෙල්ලන්බැදිපැලැස්ස, රාවණා ඇල්ල හා මිනීඇතිළිය තුළින් හමු වි ඇති සාධක තුළින් තහවුරු වි තිබේ. කුරුවිට බටදොඔලෙන තුළින් ද භූමදාන කරන ලද පුද්ගලින් 38 දෙනෙකුට අයත් සාධක පුරාවිද්‍යා කැනීම් තුළින් හඳුනාගෙන තිබේ. ප‍්‍රාථමික දඩයම් ජීවිතයක් ගතකළ බලංගොඩ මානවයා විසින් මියගිය පුද්ගලයකු භූමදාන කරන විට වල දැමීමේ දී බටහිර දෙසට හිස සිටින සේ වල දමා තිබීම ද වැදගත් වේ (Deraniyagala 1958:64-65). වර්තමානයේ දී ද මිනිසකු මියගිය විට වල දමනු ලබන්නේ ද බටහිර දෙසට හිස දමා ය. බලංගොඩ මානවයා මියගිය පුද්ගලයකුගේ හිස බටහිර දෙසට සිටින සේ වල දැමීමට හේතුව පිළිබඳ ව විමර්ශය කිරීමේ දී පැහැදිළි වන්නේ මෙම මිනිසා ස්වභාවික පරිසරයේ දුටු ස්වභාවික සිදුවීම් සිය ජීවිතයට ද ආරෝපනය කර ඇති බවකි. එ නම් ඔහු පරිසරයේ ප‍්‍රධානතම වැදගත් වස්තුව ලෙස දුටුවේ සූර්යයා ය. සූර්ය ගමනය නැගෙනහිරින් ආරම්භ වී බස්නාහිරෙන් අවසන් වන බව ඔවුහු දෛනික ව දුටු සිද්ධියකි. මෙම දෛනික සිද්ධිය මානවයාගේ ජීවිතයට ආරෝපනය කළ කල්හි පෙනෙන්නේ උපත හා මියයාම ඉන් පිළඹිබු වන බව ය. නැගෙනහිර ඉපදීමත් බස්නාහිර මියයාමත් සංකේතවත් කිරීමේ අරමුණින් බලංගොඩ මානවයා මෙසේ මිනිසකු මියගිය විට හිස බටහිරට සිටින සේ වල දැමීමෙන් සංකේතවත් කරන්නට ඇත්තේ මෙම ස්වභාවික ක‍්‍රියාවලිය බව උපකල්පනය කළ හැකි ය. මෙම මානවයාගේ අභිචාර කටයුතු අතර මියගිය පසු අස්ථි වල දමා මස් දිය වූ අස්ථිවල ගුරුගල් ආලේප කිරීම පිළිබඳ තොරතුරු ද බටදොඹලෙන, බෙලි ලෙන, බෙල්ලන්බැඳිපැලැස්ස, බුලත්සිංහල, ෆාහියන්ලෙන, අලවල පොත්ගුල් ආදී ලෙන් තුළින් හඳුනාගෙන තිබේ. එසේ ම රාවණාඇල්ලෙන් ලැබී ඇති මානව හිස්කබල සිඳුරු කිරීමට උත්සාහ කිරීම තුළින් ද ඔවුන්ගේ විවිධ අවමංගල්‍ය හා අභිචාර කටයුතු පිළිබඳ ව හඳුනාගැනීමට හැකි වී තිබේ (Deraniyagala 2007:59; Kennedy 2000:183-237; Deraniyagala 1992, chap. 5.3.12). මෙම පුරාවිද්‍යා තොරතුරු අනුව පැහැදිලිි වන්නේ ශ‍්‍රී ලංකාවේ අවමංගල්‍ය චාරිත‍්‍රවල මූලාරම්භය ශ‍්‍රී ලංකික සමාජය විසින් ආරම්භ කර ඇත්තේ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා අවධියේ දී බව ය. එසේ ආරම්භ කරන ලද චාරිත‍්‍රය වර්තමානය දක්වා ම මිනිසකු මියගිය විට වල දැමීමේ දී බස්නාහිරට හිස දමා වල දැමීමට භාවිත කිරීමේ ක‍්‍රියාදාමය තුළින් අදටත් දෘෂ්‍යමාන වීම වැදගත් වේ.

පූර්ව ඓතිහාසික අවධියේ මානවයාගේ අභිචාර, සුසාන චාරිත‍්‍ර

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඵෙතිහාසික සංස්කාතික අවධිය ක‍්‍රිස්තු පූර්ව 2400 දී පමණ ආරම්භ ව විකාශනය වූ බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ (Somadeva 2006:13). මෙම සංස්කෘතික අවධිය හඳුනාගැනීම සඳහා පර්යේෂණ දායකත්වය දැක්වුවන් අතර පෝල් ඊ. පීරිස්, රාජා ද සිල්වා, සුදර්ශන් සෙනෙවිරත්න, පොන්නම්බලම් රඝුපති, ඒස්.කේ. සිත‍්‍රම්පලම්, සිරාන් දැරණියගල, සේනක බණ්ඩාරණායන, නිමල් පෙරේරා, පි‍්‍රයන්ත කරුණාරත්න, රාජ් සෝමදේව, ගාමිණී අදිකාරී, ඩි.කේ. ජයරත්න, මෙලාති සල්ඩින්, රංජිත් බංඩාර දිසානයක, තුසිත මැන්දිස්, මංගල කටුගම්පොළ ආදි පර්යේෂකයින් පෙන්වාදිය හැකි ය. එම පර්යේෂකයින් සිදු කර ඇති පර්යේෂණ අනුව මේවන විට ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන සම්බන්ධ කාලනීර්ණ මෙසේ ලැබී තිබේ. බෙරගල කළුපහණ වත්ත ක‍්‍රිස්තු පූර්ව 2400, හල්දුම්මුල්ල ක‍්‍රිස්තු පූර්ව 1750 (මනමේන්ද්‍රආරච්චි හා අදිකාරී 2014:227) රංචාමඩම ක‍්‍රිස්තු පූර්ව 1359 (Somadeva; Disanayake and Fernando 2006:13) කෝඑබේ ක‍්‍රිස්තු පූර්ව 790 (මැන්දිස් 2017:177-179), ඉබ්බන්කටුව ක‍්‍රිස්තු පූර්ව 700-400 (Bandaranayake and Kilian in Deraniyagala 1992:734) ඉහළ කලවැල්ලාඋල්පත (සීගිරිය) ක‍්‍රිස්තු පූර්ව 520 (Jayaratne 2014:25-40). තම්මැන්නාගොඩැල්ල ක‍්‍රිස්තු පූර්ව 490 (Disanayake  2013) නිකවලමුල්ල ක‍්‍රිස්තු පූර්ව 400 (Perera 1996 සම්මුඛ සාකච්ඡාව 2016 ) කලඔටුවාව ක‍්‍රිස්තු පූර්ව 130 (Deraniayagala 2007:69) පිංවැව ගල්සොහොන්කනත්ත ක‍්‍රිස්තු පූර්ව 112 (Deraniayagala 2007:69) කුලියාපිටිය (දුම්මලසූරිය) ක‍්‍රිස්තු වර්ෂ 100-350 (Perera 2014 සම්මුඛ සාකච්ඡාව 2016) වශයෙන් ලැබී තිබේ. පූර්ව ඓතිහාසික අවධියේ පැවති සුසාන චාරිත‍්‍ර වැදගත් වන්නේ ඊට පෙර පැවති සංස්කෘතියට එනම් මධ්‍ය ශිලා යුගයට වඩා විධිමත් ආකාරයට එම කටයුතු හඳුන්වාදීම නිසා ය .

පුර්ව ඓතිහාසික සංස්කෘතිය විධිමත් සංස්කෘතියක් මෙ රටට හඳුන්වා දුන් අතර එම සංස්කෘතිය තුළ ජීවත් වූ මිනිසුන් විසින් ශ‍්‍රී ලංකා සමාජයට හඳුන්වා දුන් විධිමත් භූමදාන ක‍්‍රමවේද හා සුසාන චාරිත‍්‍ර ද වැදගත් වේ. මෙම යුගයේ දී ශ‍්‍රී ලංකාව තුළින් හඳුනාගත හැකි ශවෝපාචාර ක‍්‍රම අතරින් විධිමත් ලෙස ස්ථාපිත කරනු ලැබූ සුසාන ආකෘති ගණනාවක් තිබේ. පර්යේෂකයින් විසින් හඳුනාගෙන ඇති ආකාරයට එම සුසාන ආකෘති අතර මැටි ඔරු සුසාන (Clay canoe/Clay cist), ශිලා මංජුසා සුසාන (Cist burial), ශිලා මණ්ඩල සුසාන (Cairn circle), ශිලා කේතුක සුසාන (Cairn mound/Cairn heap), ශිලා පෙළ සුසාන (Alignment), ශිලා ටැඔ සුසාන (Men hire), බරණි සුසාන (Urn pot) ශිලා මඤ්චක සුසාන (Delmenoid) යන සුසාන ආකෘති ශ‍්‍රී ලංකාව ඇසුරින් හඳුනාගත හැකි වී තිබේ (Senavirathne 1984:237-306; 2007:135-167; මැන්දිස් 2016:150-153).

මැටි ඔරු සුසාන

ශ‍්‍රී ලංකාවට ම ආවේනික සුසාන ක‍්‍රමයක් වන මැටි ඔරු හෙවත් මැටි මංජුසා සුසාන ශ‍්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසයේ විශේෂ සුසාන වර්ගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ශ‍්‍රී ලංකාවේ අන්තර් මධ්‍යම කලාපය තුළින් වාර්තා වන මෙම සුසාන 1952 වසරේ දී පී.ඊ.පී. දැරණියගල මාතර බණ්ඩත්තර දී මුල්වරට මෙම සුසාන වර්ගය වාර්තා කර තිබේ (Wanninayake 2016:216). නමුත් මෙය සුසානයක් ලෙස නිශ්චිත ලෙස ඔහු එවක හඳුනාගෙන නැත. 1982 වර්ෂයේ දී ඉබ්බන්කටුව සුසාන භූමිය තුළින් මෙ වැනි සුසානයක් පුරාවිද්‍යා කැනීමකට ලක් කළ ද එ කල එය හඳුනාගෙන ඇත්තේ ගිනි දල්වන ලද ස්ථානයක් ලෙස ය. එම සුසානය තුළ තිබී කානීලියන් පබළු හමු වී ඇති අතර එයින් ලබාගත් අඟුරු සාම්පල ආශ‍්‍රිත ව සිදු කරන ලද කාලනීර්ණවල දී එම සුසානය ක‍්‍රිස්තු පූර්ව 720ට කාල නීර්ණය වී ඇති බව නිමල් පෙරේරා විසින් ප‍්‍රකාශ කරන ලදි (පෙරේරා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2017). 1996 වර්ෂයේ දී නිමල් පෙරේරා විසින් අත්තනගල්ල වාරණ ලෙන ආසන්නයේ ඇති ඕගොඩපොළ ස්ථානයේ හමු වූ සුසානයක් කැනීම් කර එය ක‍්‍රිස්තු පූර්ව 250ට අයත් වන බවට කාබන් කාලනීර්ණ අනුව පෙන්වා දී ඇත (එම). රංජිත් දිසානායක විසින් රුවන්වැල්ල, නිකවලමුල්ල සුසානය ආශි‍්‍රත ව කැනීම් සිදු කර එය කි‍්‍රස්තු පූර්ව 400ට අයත් බව කාලනීර්ණය කර තිබේ (දිසානායක 2011 සම්මුඛ සාකච්ඡාව 2016). 2006 වර්ෂයේ රාජ් සෝමදේව ඇඹිලිපිටිය රංචාමඩම සුසාන කැනීම් කර එම සුසානය ක‍්‍රිස්තු පූර්ව 1359 (Somadeva 2006:13) හා දියතලාව හල්දුම්මුල්ල සුසානය කැනීම් කර එය කි‍්‍රස්තු පූර්ව 1750ක් පැරණි බව හා බෙරගල කළුපහණවත්ත කි‍්‍රස්තු පූර්ව 2400 කාලනීර්ණය කර තිබේ (මනමේන්ද්‍රආරච්චි හා අදිකාරී 2014:227). 2013 වර්ෂයේ නිමල් පෙරේරා විසින් හලාවත දුම්මලසූරිය ප‍්‍රදේශයේ සුසාන ආශ‍්‍රිත සිදු කරන ලද කැනීම අනුව එම සුසානය ක‍්‍රිස්තු වර්ෂ 350ට අයත් බව කාල නීර්ණය කර ඇත. මෙ වැනි අකෘතියේ සුසාන ඉන්දියාවේ ද නොමැති බව ඉන්දීය පුර්ව ඉතිහාසය සම්බන්ධ විශේෂඥයකු වන මහාචාර්ය කේ. රාජන් විසින් ද පෙන්වා දී ඇති බව නිමල් පෙරේරා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ දී පැහැදිලි විය. ඒ අනුව ඉතා ඈත ඉතිහාසයේ සිට ම ඓතිහාසික යුගය දක්වා සහස‍්‍ර වර්ෂ තුනකට ආසන්න කාලයක් මැටි ඔරු සුසාන ආකෘතිය ශ‍්‍රී ලංකාව තුළ බලපවත්වා තිබේ. මෙතෙක් හමු වූ මැටි ඔරු සුසාන බොහොමයක් ස්ථාපිත වී ඇත්තේ කඳුකර කලාපයේ හා අන්තර් මධ්‍යම කලාපයේ වීම ද විශේෂ වේ. මෙම සුසාන තුළ මළ මිනිය සම්පූර්ණ වශයෙන් හෝ මානව අස්ථි කොටස් දවා තිබීම හෝ මුට්ටි තුළ බහා දැවීම සිදු කළ බව එහි අභ්‍යන්තරයේ හමුවන තැන්පතු තුළින් හඳුනාගත හැකි වේ.

නිකවලමුල්ලෙන් හමුවන මැටි ඔරු සුසාන හෙවත් මැටි මංජුසා සුසාන

මෙගලිතික සුසාන

ශ‍්‍රී ලංකාව තුළින් හමුවන පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන අතරින් සුලභ ලෙස වාර්තා වන සුසාන විශේෂය වන්නේ මෙගලිතික සුසානයන් ය. මෙම සුසාන මීට පෙර විස්තර කරන ලද මැටි ඔරු සුසානවලට වෙනස් වේ. මෙගලිතික යන වචනය පුරාවිද්‍යාඥයින් භාවිතයට ගනු ලබන්නේ 19 වැනි සියවස අග භාගයේ සිට ය. මෙහි පුරෝගාමියා වන්නේ ප‍්‍රංශ ජාතික ග්ලීන් ඩැනියෙල්ය. Meges යන ශ‍්‍රීක වචනයෙන් නිෂ්පන්න මහා යන්නත් Lithic යන වචනයෙන් නිෂ්පන්න ශිලා යන්නත් එකතුකර Megalithic හෙවත් මහා ශිලා යන්න නිර්මාණය වී ඇත. ගෝල්ඩන් චයිල්ඩඩ් විසින් මහා ශිලා යන්නෙන් ස්මාරකය ඉදිකිරීමට භාවිත කරන ලද ද්‍රව්‍ය ගම්‍ය නොවන බවත් එ මගින් අවමංගල්‍ය හෝ අනුස්මරණ විධියක් නිරූපනය වන බවත් පෙන්වා දී ඇත. මෙගලිතික සුසාන සඳහා ශිලා මාධ්‍ය භාවිත කර ඇති අතර ඒ සඳහා ශිලා පුවරු, ශිලා ටැඔ, ශිලා කුට්ටි භාවිතා කර සුසාන ඉදිකර තිබෙන බැවින් මෙම සුසාන මෙගලිතික සුසාන වශයෙන් අර්ථ දක්වා තිබේ.

ශිලා මංජුසා සුසානයක පියන්ගල

ශිලා මංජුසා සුසාන (Cist burial) : ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය තූළින් බහුල ලෙස වාර්තා වී තිබෙන මෙගලිතික සුසාන වර්ගය ලෙස ශිලා මංජුසා සුසාන පෙන්වාදිය හැකි ය. මෙම වර්ගයේ සුසාන යාපන අර්ධද්වීපය, උතුරු මැද, වයඔ, අග්නිදිග හා නැගෙනහිර හා දකුණු පලාත යන පලාත් තුළින් වාර්තා වී තිබේ. ශිලා මංජුසා සුසාන ඉදිකිරීම සඳහා ශිලා පුවරු භාවිත කර තිබෙන අතර ඒවා තරමක් විශාල හා කුඩා ප‍්‍රමාණවලින් ද යුක්ත වේ. සිරස් අතට සිටුවන ලද ශිලා පුවරු හතරක් පෙට්ටික් ලෙස සකස් කර මෙම සුසාන ඉදිකර තිබේ. එසේ සකස් කරනු ලබන ගල් පෙට්ටිය හතරැුස් හා සෘජු කෝණාස‍්‍රාරාකාර හැඩවලට සකස් කර තිබෙන අතර සමහර ශිලා මංජුසා සුසාන ස්වස්ථිකාකාර ලෙස ද ඉදි කර තිබේ. මෙසේ සකස් කරන ලද සෙල් පෙට්ටිය අභ්‍යන්තරයේ මැටි මුට්ටි තුළ බහාලනු ලැබූ මානව අස්ථි හෝ මල මිනිය දහනය කරන ලද අ`ගුරු තැන්පත් කර ඒ සම`ග මියගිය පුද්ගලයා භාවිත කරන ලද පළදනා මෙන් ම ඊ හිස්, නියන්, හා තල, තඔ අංජන කූරූ ඇතුළු විවිධ උපකරණ පූජා මුට්ටි තුළ බහා සොහොන අභ්‍යන්තරයේ තැන්පත් කර විශාල පියන්ගලකින් වසා තිබේ. මෙය එක් අතකින් අභිචාර කටයුත්තක් ලෙස සැලකිය හැකි අතර එමගින් මියගිය පුද්ගලයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ ඔවුන් තුළ වූ ආකල්පයක් විය හැකි බව පෙන්වාදිය හැකි ය. ශ‍්‍රී ලංකාවේ ශිලා මංජුසා සුසාන වැඩිම ප‍්‍රමාණයක් දැනට වාර්තා වන්නේ මල්වතු ඔය, යාන් ඔය, කිරිදි ඔය දැදුරු ඔය ආදී ගංගා නිම්න ආශ‍්‍රිත ව ය. ඒ අතරින් යාන්ඔය මධ්‍ය නිම්නයේ වර්ග කිලෝමීටර් 1400 භූ වපසරිය තුළ වැඩිම ප‍්‍රමාණයක් මෙගලිතික සුසාන ස්ථානගත වී තිබේ. එම නිම්නයේ පමණක් මෙගලිතික සුසාන ස්ථාන 29 ක් පමණ පවතින වන බව මේ වන විට වාර්තාකර තිබේ (මැන්දිස් 2017:105). යාන් ඔය නිම්නය ආශ‍්‍රිත ව පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් මුළු සුසාන ප‍්‍රමාණය 32 වේ. ඒ අතරින් මධ්‍ය යාන් ඔය නිම්නයේ සුසාන ස්ථානගත ව ඇති ස්ථාන ලෙස තම්මැන්නාගොඩැල්ල, ගල්ඇදකටුව, කල්පෙ, ගුරුගල්හින්න, නෙ`එගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, කොක්එබේ, පන්වත්ත, පඩරැුල්ලාව, දිවුල්වැව, රබෑව, මල්පෝරුවල, කිරිමැටියාව, ඕලූවැව, නෙතුගොල්ලව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, මාවතවැව, ගුරුගල්හින්න, කොක්එබේ, මරදන්මඩුව, පරංගියාවාඩිය දික්වැව, ඇතාබැදිවැව, පන්කැටියාව, ප`එකැටිවැව , ආදී ස්ථාන පෙන්වාදිය හැකි ය.

ශිලා මංජුසා සුසානයක පැතිගල් සකස් කර ඇති ආකාරය

මෙම සුසාන භූමි අතරින් 1970 දශකයේ දී රාජා දසිල්වා විසින් ගුරුගල්හින්න ආශි‍්‍රත ව කැණීම් සිදු කර තිබෙන අතර එම සුසානය විද්‍යාත්මක ලෙස කාලනීර්ණය කර නොමැත 2013 වර්ෂයේ දී රංජිත් දිසානායක තම්මැන්නාගොඩැල්ල ආශ‍්‍රිත ව පුරාවිද්‍යා කැණීම් සිදු කර එම සුසාන භූමිය ක‍්‍රි. පූ. 490 අදින් අවුරුදු 2490 ක් පැරණි බව තහවුරු කර ගෙන තිබේ (රංජිත් දිසානායක සම`ග සිදුකළ සම්මුඛ සාකච්ඡුාව 2016). එසේ ම 2016 වර්ෂයේ දී තුසිත මැන්දිස් විසින් කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත ව සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලට අනුව එම සුසානය ක‍්‍රි.පූ 790ට අයත් බව කාල නීර්ණය කර තිබේ ( මැන්දිස් 2017:177-179). මෙම කාලනීර්ණය මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන මෙගලිතික සුසාන සම්බන්ධ ව ඇති පැරණිත ම කාලනීර්ණ වන අතර මීට පෙර පැවති පැරණි කාලනීර්ණය ඉබ්බන්කටුවෙන් වාර්තා වූ කාලනීර්ණයයි එය ක‍්‍රි.පූ 750 ලෙස ය (මනමේන්ද්‍රආරච්චි සහ අදිකාරී 2014:21). මෙයට අමතර ව ශිලා මංජුසා සුසාන මාමඩුව, අලූත්බෝඔුව, කදිරවේලි, ඉබ්බන්කටුව, ගල්ගමුව අන්දරවැව, වට්ටක්කවාඩිය, පිංවැව ගල්සොහොන් කනත්ත, පොල්පිතිගම, ආනෙයිකොඞ්ඩායි, ගලේවෙල යටිගල්පොත්ත, හම්බන්තොට තඔරව ආදී ස්ථානවල ද පවතින බව පෙන්වාදිය හැකි ය.

ශිලා මණ්ඩල සුසාන (Cairn circle) : ශී‍්‍ර ලංකාවෙන් වාර්තාවන මෙගලිතික සුසාන අකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ ශිලා මණ්ඩල වර්ගයේ සුසානයන් ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී ශිලා මංජුසා සුසානයක් තනා එය වටා රවුමට ශිලා කුට්ටි කවයක් ලෙස හෝ කව දෙකක් ලෙස යොදා සුසානය නිර්මාණය කර තිබේ. මෙවැනි සුසාන වව්නියාව මාමඩුව ප‍්‍රදේශයේ පවතින බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති අතර (Senavirathne 2007:135-191). රංජිත් දිසානායක හා තුසිත මැන්දිස් පෙන්වාදෙන ආකාරයට මෙවැනි සුසාන කහටගස්දිගිලියට නුදුරු පළුකැටිවැව (වළහවිද්දවැව) පවතින බව පෙන්වා දී තිබේ (මැන්දිස් 2016:152). මීට අමතර ව මෙම සුසාන මොරගොඩයාය, ඕලූවැව, ගොරකපැලස්ස, නීලගිරි සෑය, කෝවිල්තැන්න, සෙට්ටිවත්ත, කල්කනෙ පාලම යන ස්ථානවලින් ද වාර්තා වී තිබේ.

පළුකැටිවැව (වලහවිද්දවැව) වාර්තා වන ශිලා මණ්ඩල සුසානය (දිසානායක 2013)
පළුකැටිවැව (වලහවිද්දවැව) වාර්තා වන ශිලා මණ්ඩල සුසානය (දිසානායක 2013)

ශිලා කේතුක සුසාන (Cairn mound/Cairn heap) : ශිලා කේතුක වර්ගයේ සුසාන හෙවත් ගල් ගොඩැලි සුසාන පූර්ව ඓතිහාසික යුගයේ දී මෙ රට ශවෝපාචාර කටයුතුවල දී නිර්මාණය කර ඇති තවත් සුවිශේෂ සුසාන විශේෂයක් ලෙස පෙන්වාදිය හැකි ය. මෙම සුසාන නිර්මාණය කිරීමේ දී මියගිය පුද්ගලයාගේ භෂ්මාවශේෂ හා ඔහු භාවිත කරන ලද ආභරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ මැටි බරණි හා පූජා මුට්ටිවල දමා වල දමා ඒ මත කැටගල් හෝ ගල් පුවරු කන්දක් ආකාරයට ගොඩගසා සුසානය සකස් කර තිබේ. මෙ වැනි සුසාන ශ‍්‍රී ලංකාව තුළින් දැනට වාර්තා වී ඇත්තේ කහටගස්දිගිලියට නුදුරු කොක්එබේ, හොරොව්පොතානට නුදුරු නිකවැව (පරංගියාවාඩිය), මොරගොඩයාය, ඕලූවැව, කනගහ උල්පත, හබරත්තවල,මාමඩුව,වෙලන්විට, ගොරක පැලැස්ස, ඇලපත්වැව යන ස්ථානවලින් වාර්තා වී තිබේ (Dissanayake 2017:22-35; මැන්දිස් 2016:150-153).

කොක්එබේ පිහිටි ශිලාකේතුක වර්ගයේ සුසානය
කොක්එබේ පිහිටි ශිලාකේතුක වර්ගයේ සුසානය
නිකවැව පිහිටි ශිලා කේතුක සුසානය

ශිලා පෙළ සුසාන (Alignment) : ශ‍්‍රී ලංකාවෙන් හමුවන ශිලා පෙළ වර්ගයේ එකම සුසානය පිහිටා ඇත්තේ කහටගස්දිගිලියට නුදුරු කොක්එබේ මෙගලිතික සුසාන භූමියේ ය. මීටර් එකක් පමණ උස ශිලා පුවරු සිරස් අතට පොළවේ සිටුවා තිරස් අතට පෙළක් ලෙස මීටර් 15 පමණ දිගට සකසන ලද ශිලා පෙළක දෙපැත්තේ ම සුසාන බරණි හා පූජා මුට්ටි වලදමා තිබේ. මෙය සුවිශේෂ සුසාන ක‍්‍ර‍්‍රමයක් වන අතර එය ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවන දුර්ලභ සුසාන වර්ගයක් ලෙස ද හඳුන්වාදිය හැකි ය. 2016 වර්ෂයේ දී මෙම සුසානයේ කොටසක් තුසිත මැන්දිස් විසින් කැණීම් සිදුකර එය ක‍්‍රි.පූ 770 අයත් බවට කාලනීර්ණය කර තිබේ.

ශිලාපෙළ සුසානයේ පිහිටීම
ශිලාපෙළ සුසානයේ බරණි තැන්පත් කර ඇති ආකාරය

ශිලා ටැඔ සුසාන (Men hire) : ශ‍්‍රී ලංකාවේ හමුවන දුර්ලභ ඝනයේ සුසාන විශේෂයක් ලෙස ශිලා ටැබ සුසාන හැදින්විය හැකි ය. දැනට වාර්තාවන අන්දමට මෙවැනි සුසානයක් මැදවච්චිය හොරොව්පොතාන මාර්ගයේ තම්මැන්නාගොඩැල්ල ස්ථානයේ පිහිටා තිබෙන බවට උපකල්පනය කළ හැකි ය. මෙම සුසානය ඉදිකර ඇත්තේ විශාල ශිලා ටැඔක් සිරස් අතට සිටුවා එම ශිලා ටැඔ වටා මැටි මුට්ටි තුළ මියගිය තැනැත්තාගේ භෂ්මාවශේෂ හා ඔහු භාවිත කරන ලද ආභරණ ඇතුළු සුසාන තැන්පතු පූජා මුට්ටි තුළ බහා ඒ වටා තැන්පත් කර තිබේ. රංජිත් දිසානායක විසින් තම්මැන්නාගොඩැල්ල තුළ ඇති මෙම සුසානය 2013 වර්ෂයේ කැනීම් කර තිබේ. වර්තමානය වන විට එය කඩා දමා තිබෙන අතර එය වටා ඇති කඩාදමන ලද ශිලා කොටස් අනුව මෙය ශිලා ටැඔ සුසානයක් බව උපකල්පනය කළ හැකි ය.

තම්මැන්නාගොඩැල්ල ශිලා ටැඔ ලෙස උපකල්පනය කළ හැකි සුසානය (දිසානායක 2013)

බරණි සුසාන (Urn pot) : පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසුන් විසින් සිය අවමංගල්‍ය කටයුතු සඳහා භාවිත කරන ලද තවත් සුසාන විශේෂයක් ලෙස මැටි බරණි තුළ භෂ්මාව ශේෂ හෝ අස්ථි තැන්පත් කර වල දැමීම පෙන්වාදිය හැකි ය. මෙම සුසාන ක‍්‍රමය තුළ දී සිදු වන්නේ මියගිය තැනැත්තාගේ භෂ්මාවශේෂ හෝ සැකිළි කොටස් මහා කුම්භයක හො ඩා කුම්භයක බහා වල දැමීම ය. එම බරණි ප‍්‍රමාණයෙන් විශාල හා තරමක් කුඩා බඳුන් වන අතර ඒවා කාල රක්ත වර්ණ මෙන් ම සාමාන්‍ය රක්ත වර්ණ බඳුන් වේ. ශ‍්‍රී ලංකාව තුළින් මෙ වැනි සුසාන තෙක්කම්, කරම්බන්කුලම, මාකේවිට, කොක්එබේ, ඉබ්බන්කටුව, තම්මැන්නාගොඩැල්ල, ගල්අතර, පොම්පරිප්පුව, අන්දරවැව ආනෙයිකොඞ්ඩායි ආදී ස්ථානවලින් වාර්තා වී තිබේ. පොම්පරිප්පුව සුසාන භූමිය ආශ‍්‍රිත ව කැණීම් කරන ලද විමලා බෙග්ලි විසින් පෙන්වා දී තිබෙන ආකාරයට එම සුසාන බරණි තුළ තිබී මානව අස්ථි, දත්, පබළු, තඔ වළලූ, යකඩ කොටස් වාර්තා වී තිබේ (Begly 1981:51-95). මෙම සුසානයේ බරණි නිර්මාණය කිරීමේ දී සමහර සුසාන බරණිවල පතුල උල් ආකාර ලෙස ද සමහර සුසාන බරණිවල පතුල රවුම් ආකාර ලෙසට ද නිර්මාණය කර තිබේ.

පොම්පරිප්පුවෙන් හමුවන සුසාන බරණියක්
පොම්පරිප්පුවෙන් හමුවන සුසාන බරණියක්

ශිලා මඤ්චක සුසාන (Delmenoid)ශිලා මඤ්චක වර්ගයේ සුසාන ද පූර්ව ඓතිහාසික අවධියේ ශ‍්‍රී ලංකාවේ ශවෝ්පාචාර කටයුතු සඳහා ඉදිකරන ලද සුසාන විශේෂයකි. මෙම සුසාන ආකෘතිය ශිලා මංජුසා සුසාන ක‍්‍රමවේදයට සමාන ලෙස ඉදිකර තිබුණ ද එයින් වෙනස් වන්නේ ඒවා පොළවෙන් ඉහළට සිරස් අතට සිටුවන ලද විශාල ගල් පුවරු යොදා ගල් ගෙයක් ආකාරයට ඉදිකර තිබීම නිසා ය. එම ගල්ගෙය අභ්‍යන්තරයේ සුසාන බරණි තැන්පත් කර තිබෙන අතර මෙ වැනි සුසානයක් රඔුක්කනට නුදුරු පදවිගම්පොළ නම් ස්ථානයෙන් වාර්තා වේ. පදවිගම්පොළ සුසානය තරම් විශාල නොවූ මෙ වැනි සුසාන හොරොව්පොතානට නුදුරු වාහල්කඩ ප‍්‍රදේශයේ හා කහටගස්දිගිලියට නුදුරු ගල්ඇදකටුව නම් ස්ථානයේ ද දක්නට තිබේ (Senavirathne 1984:237; මැන්දිස් 2016:150-153). මෙම සුසානයේ විශේෂත්වය වන්නේ එහි ඉදිරි පස විවෘත ව තැබීම හෝ ඉදිරිපස වසා දමා තිබීම ය. වසාදමන ලද සුසානයක නම් වසා දමන ලද ඉදිරිපස පාෂාණ පුවරුවේ වෘත්තාකාර සිදුරක් හො සෘජුකෝණාස‍්‍රාකාර කවුළුවක් තබා තිබේ. ශ‍්‍රී ලංකාවෙන් හමුවන මෙම සුසාන නිධන් හොරුන් විසින් දැඩි ලෙස විනාශ කර තිබෙන බැවින මෙම තත්ත්වය හඳුනාගැනීමට නොහැකි වී තිබේ.

පදවිගම්පොළ දක්නට ලැබෙන ශිලා මඤ්චක සුසානය
වාහල්කඩ දක්නට ලැබෙන ශිලා මඤ්චක සුසානයක්

සෘජුකෝණාස‍්‍රාකාර සුසාන (Rectanguler Burial) : ශී‍්‍ර ලංකාවෙන් වාර්තාවන මෙගලිතික සුසාන අකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ සෘජුකෝණාස‍්‍රාකාර වර්ගයේ සුසානයන් ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී සුසානය වටා සෘජුකෝණාස‍්‍රාකාර ආකාරයට ශිලා කුට්ටි තබා සුසානය නිර්මාණය කර තිබේ. මෙ වැනි සුසාන කහටගස්දිගිලියට නුදුරු ඇලපත්වැව ප‍්‍රදේශයේ පවතින බව රංජිත් දිසානායක පෙන්වා දී ඇත (Dissanayake 2017:45).

ඇලපත්වැව පිහිටි සෘජුකෝණාස‍්‍රාකාර සුසානය (Dissanayake 2017)

සුසාන අභිචාර

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ අවමංගල්‍ය චාරිත‍්‍ර පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී මිනිසකු මියගිය පසු ව ඔහුගේ මතු ආත්මභවය වෙනුවෙන් සිදු කරන ලද අභිචාරමය ක‍්‍රියාවලිය මෙම යුගයේ සුසාන ඇසුරින් හඳුනාගත හැකි ය. ඒ අතර සුසානයට රැුගෙන එන මියගිය පුද්ගලයාගේ දේහය සුසාන භූමියේ තබා යම්කිසි ආගමික කටයුත්තක් සිදු කළ බවට හඳුනාගත හැකි සාධකයක් තම්මැන්නාගොඩැල්ල සුසානය තුළ පවතී. එම සුසාන භූමිය් මැද කොටසේ ඇති වෘත්තාකාර ලෙස සකස් කරන ලද ශිලාමය නිර්මාණ දෙකක් (විශාල හා කුඩා) හඳුනාගත හැකි අතර එම ශිලා නිර්මාණය ගැටියක් සහිත ව නිර්මාණය කර තිබේ. එය එසේ නිර්මාණය කරන්නට ඇත්තේ සුසාන භූමියට රැුගෙන එන මෘත දේහය ඒ මත තබා යම් ආගමික චාරිත‍්‍ර ඉටුකිරීමේ උවමනාවෙන් විය යුතු බව උපකල්පනය කළ හැකි ය. තම්මැන්නාගොඩැල්ල මැද ඇති මෙම නිර්මාණය තුළ අඩි හයක පුද්ගලයකු පහසුවෙන් දිගාකර තැබිය හැකි අතර එයට වඩා කුඩා රවුම තුළ කුඩා දරුවකු ඒ ආකාරයට ම දිගාකර තැබිය හැකි ය. මෙවැනි අභිචාරම ය කටයුතු වර්තමානයේ දී ද සුසාන භූමි තුළ සිදු කරනු ලැබේ.

සුසාන තැන්පතු

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන ආශ‍්‍රිත ව ඒවායේ තැන්පත් කර තිබි හමුවන තැන්පතු අතර ප‍්‍රධාන වශයෙන් ම විවිධ වර්ගයේ පබළු දක්නට ලැබේ. එම පබළු අතර කානීලියන්, ඇගේට්, ඔනික්ස්, රන්, වීදුරු, හා බෙලිකටුවලින් තැනූ පබළු වර්ග ඉබ්බන්කටුව, තම්මැන්නාගොඩැල්ල, කොක්එබේ, ගලේවෙළ, පොම්පරිප්පුව, ආනෙයිකොඞ්ඩායි, රංචාමඩම ආදී ස්ථානවලින් වාර්තාවී තිබේ. එසේ ම සුසාන තැන්පතු අතර යකඩින් නිර්මිත වළළු, කරාඔු, ඊ හිස්, තල, හා විවිධ කෘෂි උපකරණ සුසාන තුළ තැන්පත් කර තිබී වාර්තා වී ඇත. එයට අමතර ව තඔවලින් නිර්මාණය කරන ලද වළළු මෙන් ම ඇස් අලංකරණය සඳහා භාවිත කරන අංජන කූරු තම්මැන්නාගොඩැල්ල සුසානයෙන් ලැබී තිබෙන බව රාජා ද සිල්වා වාර්තා කර තිබේ.

පොම්පරිප්පු සුසාන භූමිය තුළ විමලා බෙග්ලි විසින් සිදු කරන ලද කැනීම්වල දී තිරුවාණා හා කහදවලින් නිර්මාණය කරන ලද ශිලා මෙවලම් ලැබී තිබේ (Begly 1981: 69-81). එසේ ම ඉබ්බන්කටුව හා රංචාමඩම කැණීම්වල දී ද ශිලා මෙවලම් ලැබී ඇති බව සේනක බණ්ඩානායක හා රාජ් සෝමදේව පෙන්වා දී ඇත (Somadeva; Disanayake and Fernando 2006; Senevirathne 1990:125). පී.ඊ.පී දැරණියගල විසින් කොල්ලන්කනත්ත සුසානය ආශ‍්‍රිත ව සිදු කරන ලද කැණීම්වල දී හක් බෙල්ලන් හා මුතු එම සුසාන තුළ තැන්පත් කර තිබූ බව පෙන්වාදී ඇත (Deraniyagala 1955-56:133). එසේ ම පොම්පරිප්පු සුසානය ආශ‍්‍රිත ව මිනිරන් හමුවීම හා තඔ කැබළි හමුවීම ද ද විශේෂ වේ (ASCAR 1957:30-31). මෙම සුසාන තැන්පතු බොහෝ විට කාල රක්ත වර්ණ මැටි බඳුන් හෝ කාල වර්ණ හෝ රක්ත වර්ණ බඳුන්වල බහා තැන්පත් කර තිබීම ද විශේෂ ය. එ මඟින් එ කළ සමාජය මියගිය තැනැත්තා භාවිත කළ ද්‍රව්‍ය හා උපකරණ සුසාන තුළ තැන්පත් කර තිබීම තුළින් මියගිය තැනැත්තාගේ මතු ආත්මය සුඛිත කිරීමට අදහස් කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය.

නිගමනය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික යුගයන් වනාහි ලිඛිත සාධක නොමැති යුග වේ. එ බැවින් එම යුග තුළ ක‍්‍රියාත්මක වූ ශවෝපාචාර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ඇත්තේ පුරාවිද්‍යා ප‍්‍රභවයන් මත පදනම් වෙමිනි. ඒ අනුව මෙම අධ්‍යයනය තුළ දී පුරාවිද්‍යා ප‍්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කර අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වූයේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී සරල ව ආරම්භ වූ සුසාන චාරිත‍්‍ර ප‍්‍රාථමික දඩයම් ජීවිතයක් තුළ දී ස්වභාවික පරිසරයට අනුගත වෙමින් වල දැමීම සිදු කර ඇති බව ය. එහි දී මියගිය පුද්ගලයාගේ හිස බටහිරට සිටින සේ වල දැමීම තුළින් එම යුගයේ මානවයා ස්වභාවික පරිසරයට අනුව ජීවිතය අවසන් වීම සනිටුහන් කර ඇති බව පෙන්වීීමට උත්සාහ කිරීම ඉන් පැහැදිලි වේ.

නමුත් පූර්ව ඓතිහාසික යුගයේ දී පුද්ගලයකු මියගිය විට ඒ තත්ත්වය එලෙස ම හඳුනාගත නොහැකි අතර එහි දී බොහෝ විට දෙවනවර වල දැමීමක් සිදුකර ඇති බව හඳුනාගත හැකි ය. විශේෂයෙන් ම පුද්ගලයකු මියගිය විට ඔහුගේ මෘත දේහය වල දමා මස් දිය වී ගිය පසු ව අස්ථි කොටස් මැටි බරණි තුළ බහා සුසානයක් තුළ තැන්පත් කිරීම හෝ ආදාහණය කරන ලද සිරුරෙන් ලබාගත් මිනී අළු මැටි මුට්ටි තුළ බහා සුසාන තුළ තැන්පත් කිරීම සිදු කර ඇත. එහි දී විශේෂයෙන් ම මියගිය පුද්ගලයාගේ මතු ආත්ම භවය සුඛිත මුදිත විමේ අපේක්‍ෂාවෙන් මියගිය පුද්ගලයා සම`ග ඔහු පරිහරණය කරන ලද විවිධ ද්‍රව්‍ය සුසානය තුළ තැන්පත් කර තිබීමෙන් ඒ බව මැනවින් පැහැදිලිි වේ. මෙම වල දැමීම තුළ යම් ආකාරයකට මියගිය තැනැත්තා ස්මරණය කිරීමේ චාරිත‍්‍රයක් වශයෙන් සුසාන භූමි පවත්වා ගෙන ගිය බව එම සුසාන භූමි දිගු කලක් නඩත්තු කරමින් පවත්වා ගෙන යාම තුළින් පැහැදිලි වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සුසාන චාරිත‍්‍ර ඉතා දිගු කලක සිට ආරම්භ ව විධිමත් ව හැඩගැසී වර්තමානය දක්වා ම පැමිණ ඇති බව මේ අනුව පෙන්වාදිය හැකි ය.

පරිශීලනය කරන ලද ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Adikari, G. (1994), Approches to the Prehistory of the Sigiri Dambulla region, Futher studies in the settelment archaeology of the Sigiriya Dambulla region (eds. Bandaranayake, S. and M. Morgon), 45-51
  • Begly, V. (1981), Excavation of Iron Age burials at Pomparippu 1970, Ancient Ceylon No. 04 : 49-142. Archaeology Survey Department, Colombo.
  • Deraniyagala, S. (1992), The Prehistory of Sri Lanka : An Ecological Perspective, Archaeological Survey Department. Colombo
  • Deraniyagala, S. (2007), The Pre history and Proto history of Sri Lanka, The Art and    Archaeology of Sri Lanka, Central Cultural fund:Ministry of Cultural Affairs.
  • Deraniyagala, P.E.P. (1958), The Pleistocene of Ceylon, Sri Lanka, Colombo, National Museums.
  • Deraniyagala, P.E.P. (1955-56), Land Oscillation in North West of Cylon, Jurnorl of  Royal Asiatic Society, Ceylon Branch (new series) Vol.IV: 127- 142.
  • Dissanayake, R.B. (2017), Petroforms: Stone Circles, Bolder Rectangules, and Cairn Features discoverd at Yan Oya Middle Basing, The Journorl of Archaeology and Heritage Studies, Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihinthale.
  • Kennedy, K.A.R. (2000), God Apes and fossil men, Palioantropology in South Asia, Michigan, University of Michigan.
  • Premathilaka, T.R. (2003), Late Quarternary palioecologycal event stratigraphy in the Horton Plaince, central Sri Lanka : with contrbution to the recent pollan flora. Department of Physical Geogrophy and Quarternary Geology, Storkhoim University thesis in Quarternary Geology no. 2.
  • Perera, H. N. (2010), Prehistoric of Sri Lanka Late Plestocene rockshlters and an open- air site. BAR International Series 2142.
  • Seneviratne , S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No. 5:237-305.
  • Seneviratne , S. (1990), The locational significance of early iron age sites in intermediary transitional Eco- system: A preliminary survey study of the upper Kala Oya Region, North – Central Sri Lanka, The Settlement Archaeology of the Sigiriya-Dambulla Region, (eds, S. Bandaranayake, M. Mogern & S. Epitawaththa, Postgraguate Institute os Archaeology, University of Kelaniya
  • Seneviratne , S. (2007), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Art and Archaeology of Sri Lanka, Central Cultural Fund, Ministry of Cultural Affirs, 135-202.
  • Somadeva, R. (2006), Urban Origins in Southern Sri Lanka, Postgraduate Institute of  Archaeology,  Department of African and Comparative Archaeology, Department of Archaeology and Ancient History, Uppsala University.
  • Somadeva, R., R. Disanayake and R. Fernando (2006), The Galpaya Survey Report of the first field  season 2006 (eds N. Silva, R. Somadeva), Postgraduate Institute of Archaeology Colombo.
  • Wanninayake, A. (2016), A Protohistoric Burial Tradition in Sri Lanka, Ancient Ceylon No . 25 : Archaeology Survey Department, Colombo. 200-222
  • Wijepala, W. H. (2007), Possible Neolithic evidence in Sri Lanka, Art and Archaeology of Sri Lanka, Central Cultural Fund, Ministry of Cultural Affirs, 97- 120.
  • මනමේන්ද්‍රආරච්චි, කේ.එන් හා ජී. අදිකාරී. (2014), අනුරාධපුර පුරා ජෛව විවිධත්වය හාවර්තමාන ජෛව විවිධත්වය, ජෛව විවිධත්ව ලේඛම් කාර්යාලය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය.
  • මැන්දිස්, ඩී.ටී. (2016), මධ්‍ය යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාවල ARSUR 2016, The Proceeding of Second Archaeology Symposium, Department of Archaeology and Heritage Mangement, Rajarata University of Sri Lanka,150- 153.
  • මැන්දිස්, ඩී.ටී,  සී.ආර්. විතානාච්චි (2017), මධ්‍ය යාන් ඔය නිම්නයේ ජනාවාස පුරාවිද්‍යාව, පර්යේෂණ හා ප‍්‍රකාශන අරමුදල, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, 98- 127.
-----------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.11.12 දින ප්‍රකාශයට පත් විය.
-----------------------------------------------------------------------------

පර්යේෂණ ලේඛකත්ව එක්දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවීම

ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ හා පර්යේෂණාත්මක ලේඛන හැකියාව ඔප් නැංවීමේ අරමුණින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව archaeology.lk සමඟ සහයෝගයෙන් දියත් කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදය හා පර්යේෂණාත්මක ලේඛකත්ව හැකියා වැඩිදියුණු කිරීමේ එක් දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවනු ලැබේ.

අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2018 නොවැම්බර් මස 25

දිනය: 2018 නොවැම්බර් 30 වැනි සිකුරාදා (පෙරවරු 9.00 සිට පස්වරු 04.30 දක්වා)
ස්ථානය: කොළඔ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප‍්‍රධාන දේශන ශාලාවේ දී
කා සඳහා ද: විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා උපාධි අපේක්‍ෂකයින් ඕනෑම අයෙකුට (අපේක්‍ෂකයින් 25 දෙනෙකුට පමණක් සීමාවන මෙම වැඩමුළුව සඳහා අයඳුම්කරුවන් තෝරාගැනීම ඉල්ලූම් කිරීමේ ප‍්‍රමුඛතාව අනුව(සෑම විශ්ව විද්‍යාලයක්ම නියෝජනය වන ආකාරයට) සිදුකරනු ලබන බව කරුණිකව සලකන්න.)
මාධ්‍යය: සිංහල
අය කිරීම: නොමිලේ (වැඩමුළුව සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍යය, උදේ – සවස තේ හා දිවා ආහාරය සපයනු ලැබේ.)

වැඩමුළුව පිළිබද විස්තර

ලංකාවේ පුරාවිද්‍යා පර්යේෂණ
(ජාතික හා ජාත්‍යන්තර වැදගත්කම)
ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්
පර්යේෂණාත්මක ලේඛන ආචාර්ය ප‍්‍රසාද් සේනාධීර
ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ස්වාභාවික විද්‍යා පීඨය, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, නාවල.
පුරාවිද්‍යා පර්යේෂණ සඳහා නූතන අංකිත තාක්‍ෂණය යොදා ගැනීම අනුරාධ පියදාස
සම-ප‍්‍රාරම්භක, archaeology.lk

 

ලියාපදිංචි වීම සඳහා පහත අයඳුම්පත දැන්ම යොමු කරන්න. අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2018 නොවැම්බර් මස 25.

[contact-form-7 id=”4421″ title=”පර්යේෂණ ලේඛකත්ව එක්දින වැඩමුළුව සඳහා අයඳුම්පත”]

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල.

සංක්‍ෂේපය

රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය මූලාශ‍්‍රයයන්හී එකී සාධක පිළිබඳ කරුණු අනාවරණය වේ. විවිධ වූ හැඩයෙන් යුතු යාත‍්‍රා උපයෝගීතාව අනුව නිර්මාණය කිරීමට අතීත ශිල්පීන් කටයුතු කළහ. අඛණ්ඩව පැවති ජල යාත‍්‍රා නිර්මාණ තාක්‍ෂණය වර්තමාණය වන විට සම්පූර්ණයෙන් ම පාහේ අඩපනව ඇත. මෙහි දී මා විසින් අවධානයට ලක්කරනු ලැබුවේ මෙරට භාවිත කරන ලද ඔරුව වර්ගයේ යාත‍්‍රාවන් වෙතට ය. ඔරුව නමින් හැදින්වෙන්නේ තනී ලී කඳක් හාරා සකස් කරන ලද යාත‍්‍රාවන්ට පමණක් වන අතර එම කඳට කොල්ලෑවක් තිබීම අනිවාර්ය සාධකයකි. මෙරට සාම්ප‍්‍රදායික යාත‍්‍රා අතර සුලබව භාවිත කොට ඇත්තේ ඔරු වර්ගයේ යාත‍්‍රාවන්ය. කරදිය මෙන්ම මිරිදිය කටයුතු සඳහා ද ඔරු භාවිතයට ගැනින. ධීවර කර්මාන්තයට ආවේණික වූ යාත‍්‍රාවක් වශයෙන් ඔරුව හඳුනාගත හැකි ය. වර්තමානය වන විට ලී උපයෝගී කර ගනිමින් නිර්මාණය වන සාම්ප‍්‍රදායික ධිවර යාත‍්‍රා නිර්මාණය නොවූව ද ෆයිබර් භාවිතයෙන් පැරණි ඔරුවේ ආකෘතියටම යාත‍්‍රා නිර්මාණය වනු දැකිය හැකි වේ.

මුඛ්‍ය පද : ජල යාත‍්‍රා, ඔරුව, කොල්ලෑව, නිර්මාණ තාක්‍ෂණය

අන්තර්ගතය

ශ‍්‍රී ලාං‌කේය ජන සමාජය විසින් දීර්ඝ කාලයක සිට ඔවුන්ගේ දෛනික ඕනෑ එපාකම් පිරිමසා ගැනීම සඳහා ජල යාත‍්‍රා භාවිත කළහ. ඇළ, දොළ, ගංගා, වැව් ආදී මිරිදිය ජල තටාකය මතත් දූපතක් වූ ලංකාව වටා වන කරදිය ජල තටාක මතත් යාත‍්‍රා කරනු ලැබ ඇත. මෙම ජල මාධ්‍යයන් දෙක සඳහා වෙන්වෙන් වූ නිර්මාණ ලක්‍ෂණ වලින් යුතු හා සමරූපී ජල යාත‍්‍රා නිශ්පාදනය වූ බව පැහැදිලි වේ. යාත‍්‍රා කරණය අවශ්‍යතාවන් කිහිපයක් සපුරාගැනීම වෙනුවෙන් භාවිත වුණි. වාග් ව්‍යවහාරය අනුව ලී කඳන් හාරා තනාගත් කොල්ලෑව සහිත ඔරුව හා ලී කඳන් දෙකක් සහිත පාරුව අපගේ නැව් සංස්කෘතියේ වර්ධනයට මුල් වූ බව සෝමසිරි දේවේන්ද්‍ර පවසයි (Devendra 2013:116). යාත‍්‍රාවල සරළම අවස්ථාව පහුරයි. යාත‍්‍රාවන්ගේ වර්ධනීය අවස්ථාවන් ලෙස තෙප්පම, කට්ටුමරම, ඔරුව, පාරුව, අගුල, වල්ලම හා නැව හඳුන්වා දිය හැකි ය. ඉහත යාත‍්‍රාවන්හි විවිධ වර්ග බොහෝමයක් දක්නට ලැබේ. ඒ ඒ ප‍්‍රදේශයට අනුව එකී යාත‍්‍රා භාවිත කිරීමේ වෙනසක් ද දක්නට ලැබේ. ධීවර යාත‍්‍රා සඳහා යොදවන ලද නාමයන්ගේ ද වෙනස්කම් දක්නට ලැබේ.

ඔරුවේ ක‍්‍රමාණුකූල වර්ධනය මෙරට නැව් නිර්මාණය දක්වා වර්ධනය විය. වර්තමානයේ අපට සාකච්ඡා කිරීමට විශාල නෞකා නොමැති වූවත් ඔරුව ශේෂව පවතී. ඇතැම් විටක මෙරට සාම්ප‍්‍රදායික ඔරුවේ ජීවමාන හැඩය සියසින් දකින අවසාන පරම්පරාව අප විය හැකි ය. දැනට හමු වු පැරණිම ඔරුව කොළඹ කෞතුකාගාරයේ තැම්පත් කර ඇති කැලණිය ප‍්‍රදේශයෙන් සොයාගත් ඔරුවයි (Devendra 2013:117). ඔරුවේ ස්වරූපය තීරණය වීම සඳහා භාවිත කරනු ලැබූ පන්න ක‍්‍රමය සේම දඩයම් කරනු ලබන මාලුවා ද බලපාන ලදී. ඒ අනුව, අපට එකිනෙකට වෙනස් වූ ඔරු වර්ග විශාල ප‍්‍රමාණයක් දිවයින පුරාවට හඳුනාගැනීමට හැකි වේ. මෙලෙස ලංකාව වටා බහුලව භාවිත වූ ප‍්‍රධාන ඔරු මෙලෙස පෙන්වා දිය හැකි වේ.

I. රෑ මුහුදු ඔරුව

රාත‍්‍රී කාලයේ දී පමණක් භාවිත වන නිසාවෙන් මෙකී නම පටබැදී ඇත. සාමාන්‍යයෙන් ධීවරයන් දෙ දෙනෙක් හෝ ති දෙනෙක් මෙහි ගමන්කරනු ලබයි. කොරල් ආශ‍්‍රිතව තරමක් වෙරළට සමීප ප‍්‍රදේශයන් අතර ධීවර කටයුතු වල නිරත වීම දකුණු වෙරළ තීරයේ සුළභ වූ බව කැපිටාන් පවසයි (Kapitan 1989:146).

අනෙකුත් යාත‍්‍රාවල මෙන්ම කොල්ලෑව යාත‍්‍රාවේ ඉදිරි කොළවර ආසන්නයේ යාත‍්‍රාව මැදට වන්නට ශක්තිමත්ව බැද ඇත. පොකිරිස්සන් ඔරුවේ ද සම්බන්ධව ඇත්තේ ඒ ආකාරයට ය. බොහෝවිට ඉර බැස යාමට පෙර ඔරුව දියත් කරනු ලබයි. යාත‍්‍රාවේ ගමන්කිරීමේ දී වෙරළාසන්නයේ නොගැඹුරු තීරයේ ඇති පාෂාණ දෘශ්‍ය වීම අවශ්‍ය නිසාවෙනි. යාත‍්‍රාවේ ගමන් ගන්නා හබල්කරුවන් වාඩි වී හෝ ඉදිරියට මුහුණ ලා සිටගෙන යන ආකාර දෙකෙන් එක ඉරියව්වක සිට යාත‍්‍රාව පදවනු ලැබේ. අවල් සමන්විත වන්නේ දිග දණ්ඩක් හා පැතලි තළයක් සේ සකසා ගන්නා ලද ලෑලි තලයක් එකට සම්බන්ධ කර ගනිමිනි. අවල තොණ්ඩුවක දවටා ඇති අතර එය ගැටගසා තිබෙන්නේ සාම්ප‍්‍රදායික ලෙස ඉදිරියට වන්නට ය. ඊට පසුපසින් කොල්ලෑව ගැටගසන ලද දණ්ඩ වේ. මෙම සැකැස්මෙන් ඔරුව පහසුවෙන් ගමන් කිරීම හා වේගය පාලනය කිරීමට හැකියාව ලැබේ. දිග ලී දණ්ඩක් යාත‍්‍රාවේ මැදට වන්නට සම්බන්ධ කර ඇත. එය ලාම්පුව සම්බන්ධ කිරීමට උපකාරී වේ. මෙම දණ්ඩ කොල්ලෑවේ පළමු වැනි හරස් දණ්ඩට පසුපසින් පැත්තකට වන්නට ගැටගසා ඇත. මාළු අල්ලන දැල කොල්ලෑවේ හරස් දඬු අතර යාත‍්‍රාවේ පිටතින් සම්බන්ධ වන ආකාරයට සම්බන්ධ කර ඇත (Kapitan 1989:147).

රෑ මුහුදු ඔරුව

II. ඇම් ඔරුව (පොකිරිස්සන් ඔරුව)

ඇම් ඔරු 50-60ත් අතර ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ හමු වූ බව 1989දී ජෙරාට් කපිතාන් පවසයි (Kapitan 1989:138). විශේෂයෙන්ම අකුරළ, සීනිගම, තෙල්වත්ත, හික්කඩුව, ඇම් ඔරු බහුලව භාවිත වූ ප‍්‍රදේශ වේ. නමුත් අද වන විට එවැනි සාම්ප‍්‍රදායික ඔරු සොයාගැනීමට නොහැකි වී ගොස් තිබේ.

ඇම් ඔරු තුළ නීතියක් වශයෙන් අවල් දෙකක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් කොට සලකා ඇත. ඔරුවේ දකුණු පස වන අවල දළ වශයෙන් යාත‍්‍රාවේ මැදට වන්නට සම්බන්ධ කර නිර්මාණය කර ඇත. හබල්කරු නැතිනම් මරක්කලහේ සඳහා ඇණිය ප‍්‍රදේශයේ ලෑලි පුවරුවක් සම්බන්ධ කර නිමවයි. මෙම ආසනයට පිටුපසින් ලී දණ්ඩක් සවිකර එහි ලාම්පුව රඳවයි. ජලයේ ගැඹුර මැන ගැනීම සඳහා ලණුවක බර යමක් ගැට ගසා එය කෙල්ලෑවේ ගැට ගසා පාවෙන්නට ඉඩ හරී. ඔරුවේ එකතුවන වතුර හිස් කිරීමට භාවිත කරන ලද උපකරණයක් ද වේ. මෙය බොහෝ ඔරු සඳහා පොදු කාරණාවකි. එය ලී වලින් පහසුවෙන් අතට ඇල්ලිය හැකි සේ නිමවයි (Kapitan 1989:142). යාත‍්‍රාව මීටර් 7ක් පමණ දිගින් යුක්ත ය. නමුත් මීට වඩා කුඩා මෙන්ම විශාල යාත‍්‍රා ද භාවිත කොට ඇත.

III. එලන දැල් ඔරුව

බේරුවල හා කළුතර දිස්ත‍්‍රික්කයේ මෙම වර්ගයට අයත් ඔරු 12ක් පමණ තමන් දුටු බව කපිතාන් පවසයි. සිංහලෙන් එලන දැල් ඔරුව යන නමින් ද ඉංග‍්‍රීසියෙන් The Nettin Between Oruwa ලෙස දක්වයි (Kapitan 1991: 23-24).

එළන දැල් ඔරු යුගලක් (Record of Traditional Watercraft from South and west Sri Lanka, p.116)

මෙහි දී ඔරු දෙකක් මාලු ඇල්ලීම සඳහා යොදා ගනී. දැල ඔරු දෙක අතරේ දැල රඳවා ගෙන යාම සිදු කරනු ලබයි. එලන දැල් ඔරු වෙරළේ නවත්වනුයේ ද යුගල වශයෙනි. එක් ඔරුවක කොල්ලෑව වම් පස ද අනෙක් ඔරුවේ කොල්ලෑව දකුණු පසට ද වන සේ සාදා ඇත. දකුණු පසට කොල්ලෑව සවිකර ඇති ඔරුව අනෙක් ඔරුවට වඩා ප‍්‍රමාණයෙන් කුඩා වේ. මෙසේ ඔරුව කුඩා වීමට හේතුව පිළිබඳව නිශ්චිත අදහසක් නොමැති බව කපිතාන් මහතා සඳහන් කරයි (Kapitan 1991:24). එක් ඔරුවක ධීවරයන් දෙ දෙනෙක් පමණක් ගමන් ගනී. ඇන්අදිරාළ අවර කොටසේ සිට යාත‍්‍රාව මෙහෙය වනු ලබයි. ඔහු භාවිත කරන හබල තරමක් දිගින් වැඩි ය. සාමාන්‍යයෙන් මීටර් 1.5ක් පමණ ය. අවල්කරු කොල්ලෑව සවිකර ඇති දඬු දෙක අතර මැද ප‍්‍රදේශයේ වාඩි වී සිටී. කොල්ලෑව සවිතර ඇති වියල් ලීයේ අවල සම්බන්ධ කර ඇත. අවලේ දිග තීරණය වන්නේ ඔරු කදේ සිට කොල්ලෑවට ඇති දිග අනුව ය. හබල් කරු හා ඇන්අදිරාළගේ ආසන ශක්තිමත් ලණු උපයෝගී කරගනිමින් දඟරයක් ආකාරයට ඔතා ඇත (Kapitan 1991:25). කොල්ලෑවට සම්බන්ධ හරස් දඩු ඔරු කඳට සම්බන්ධ කිරීමේ දී අනෙක් ඔරු හා සමානව නිර්මාණය කර ඇත. නමුත් ඔරුවේ ඇතුළත මාදැල් ඔරුවක මෙන් විශාලව නිර්මාණය කර ඇත.

IV. පිිලා ඔරුව

වරකට දෙ දෙනෙකු පමණක් රැකියාවේ නිරත විය හැකි කුඩා ප‍්‍රමාණයේ ඔරුවකි. කුඩා ඇස් ඇති පාවෙන කරමල් දැල් හා පොකිරිස්සන් දැල් එලීම සඳහා බොහෝවිට භාවිතයට ගැනුණි. එසේම, යොත් මගින් මසුන් මැරීම, උගුල් (ජාකොටු) තුළ සිර වී ඇති මසුන් ඉවත් කිරීම සඳහා ද භාවිත කරන ලදි. ගංගා, කලපු හා වැව් සඳහා ද පිලා ඔරු භාවිතයට ගැනුනි. විශේෂයෙන්ම ජලාශ‍්‍රවල නෙලුම්, ඕලුු කෙකටිය මල් ආදිය නෙළා ගැනීම සඳහා භාවිත විය. කෙටි රුවලක් සහිත පිලා ඔරු විශේෂය නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ධීවරයන් අතර ද ජනපි‍්‍රය යාත‍්‍රාවකි (Vitharana 1992:44). දකුණු පලාතේ ඔක්තෝම්බර් සිට අ‌ප්‍රේල් දක්වා වලාල කාලයේ ධීවර කර්මාන්ත කටයුතු සඳහා යොදා ගනු ලැබේ. මීගමුව, දොඩන්දූව, කොග්ගල, මඩකලපු, කොට්ටියාර් බොක්ක වැනි ස්ථානවල බහුලව භාවිත වී තිබේ. විශේෂයෙන්ම රාත‍්‍රි කාලයේ ධීවර රැකියාවේ යෙදෙන අතර නැවතත් අලුුයම ගොඩබිමට පැමිණේ. යාත‍්‍රාවේ කොල්ලෑව වම්පස පිහිටා ඇත. කැපිටාන් දක්වන්නේ හික්කඩුව හා වැලිගම යන ප‍්‍රදේශ වල ද තමන් මෙම යාත‍්‍රාව දුටු බවයි (Kapitan 1987:283). ඔරුවේ දිග මීටර් 5-6 අතර, පළල සෙ.මී. 7-10 දක්වා පටු පත්තාරයක් දක්නට ලැබේ. මීටර 3ක් පමණ දිග හා මීටර් 0.6ක් වට ප‍්‍රමාණය ඇති දැවයෙන් තැනූ කොල්ලෑව යාත‍්‍රාවේ වම්පසට සවිකර ඇත. යාත‍්‍රාවේ මැද කොටසේ වට ප‍්‍රමාණය 1.5ක් පමණ වේ (පෙරේරා 2011:233).

V. වරා ඔරුව

වරා ඔරුව යන නම ලැබී ඇත්තේ ආරක්ෂිත බොක්ක නැතිනම් වරාය යන්න මූලික කරගෙනය (Shelter Bay). කොල්ලෑව සම්බන්ධ කර ඇති වියල් හී කොල්ලෑව සම්බන්ධ වන ස්ථානය තරමක් විශාල ස්වරූපයෙන් යුක්ත ය. එහි කෙළවර නැමුණු ස්වරූපයකින් යුක්ත වූව ද ලී දණ්ඩ තිරස්ව සවිකර ඇත (Kapitan 1991:26).

යාත‍්‍රාව සඳහා අවල් තුනක් සම්බන්ධ කර ඇත. ඒ සියල්ල රඳවා තබා ඇත්තේ කොල්ළෑව සම්බන්ධ කර ඇති පැත්තේ ය. හබල් දෙකක් කෙටි හරස් පොලු දෙකකට සම්බන්ධ කර ඇත. ඉන් එකක ක‍්‍රමයෙන් වක‍්‍ර වන ලී කොටසක් වන අතර එය ඔරු කඳට හොදින් සම්බන්ධ කර ඇත. සියලු අවල් කරුවෝ හබල්කරු මෙන් ඉදිරිපසට මුහුණ ලා හිදගෙන සිටී. තුන්වන අවල යාත‍්‍රාවේ අවර කෙළවරට වන්නට සම්බන්ධ කර ඇත. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඔරුවේ අනෙක් ඔරු හා සැසදීමේ දී ඔරුව කුඩා ය. කොල්ලෑවේ හරස් කැපුමක් ගත් කල එහි විශ්කම්භය ද අනෙක් ඔරුවලට වඩා අඩු ය (Kapitan 1991:26). ඔරුවේ පුද්ගලයන් 2-5 පමණ එකවර ධීවර කටයුතු සඳහා යොදාගනී. නමුත් ඇතැම් විට ධීවරයන් 9 දෙනෙකු ද රැකියාවේ යෙදෙන අවස්ථා ද ඇත. දකුණු පළාතේ වැලිගම සිට අම්බලන්ගොඩ දක්වා වන ප‍්‍රදේශයන්හී සාමාන්‍යයෙන් වරා ඔරු භාවිත කරනු ලැබ තිබේ. වරා ඔරුව සඳහා අවල් තුනක් අයත්වේ. ඒ සියල්ලම රඳවා ඇත්තේ කොල්ලෑව පිහිටි පැත්තේ ය. හබල් දෙකක් කෙටි හරස් පොලු දෙකකට සම්බන්ධ කර ඇත. ඉන් එකක් ක‍්‍රමයෙන් වක‍්‍ර වන ලී කොටසකට සවිකර ඔරු කඳට සම්බන්ධ කරයි. ඉතිරි අවල කොල්ලෑවට සම්බන්ධ වන වියලේ ගැටගසා ඇත. අවල තරමක් පළල් ස්වරූපයක් උසුලයි. දිග මීටර් 9ක් පමණ වන අතර දකුණු පසට සවිකර ඇති කොල්ලෑව මීටර් 3.9ක් දිගැති ය. පත්තාරය මීටර් 1.4ක් පමණ වට ප‍්‍රමාණයක් ඇති ඔරු කඳේ ඔරු දාරයට වියමනක් සවි කර ඇත. පත්තාර දෙක අතර මතුපිට පළල මීටර් 0.2ක් පමණ වේ. වියල යාත‍්‍රාවට සම්බන්ධ කර ඇති ස්ථානය සුළු වශයෙන් කවාකාර හැඩයකින් යුක්ත දැව කඳක් තිබීම යාත‍්‍රාවේ කැපී පෙනෙන අංගයකි (පෙරේරා 2011:231).

VI. පලු ඔරුව

පලු ඔරුව (Kapitan, 1991)

දකුණු ප‍්‍රදේශයේ භාවිත වූ ඔරු වර්ග අතර ප‍්‍රධාන ඔරුවක් ලෙස මෙය සැලකිය හැකි වේ. ඇතැම් ප‍්‍රදේශයන්හී මෙය ‘රුවල් ඔරුව’ ලෙසින් ද හඳුන්වනු ලබයි. කොල්ලෑව සහිත ඔරුවක් වන මෙය ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හික්කඩුව හා මාතර දිස්ත‍්‍රික්කයට අයත් වැලිගම ආශ‍්‍රිතව බහුලව දක්නට ලැබුණි. දකුණු ප‍්‍රදේශයේ ධීවරයන් විසින් මෙකී ඔරු වර්ගය පලුු ඔරුව ලෙසින් හඳුන්වයි. වියල් මත ආධාරක ලණු 4ක් මගින් සිරස්ව කුඹ ගස සම්බන්ධ කර ඇති ආකාරය දක්නට ලැබේ. රුවල කුඹයේ මුදුනේ සිට මීටරයක් පමණ පහලින් ගැටගසා ඇත. රුවල සාම්ප‍්‍රදායික ක‍්‍රමයට ම කෙළවර ඉදිරියට යොමුකර නිමවයි. කුඹ ගස යාත‍්‍රාවේ ස්ථිරව සම්බන්ධ කිරීම විශේෂ ලක්ෂණයකි. මෙයට හේතුව වන්නේ උතුරු සුලං කාලවල දී ඔරුව දියත්කරන නිසාවෙනි (Kapitan 1987:283). පලු ඔරුවේ කුඹය ඉන්දු-අරාබියානු යාත‍්‍රාවල දැකිය හැකි පැති දෙකක් සමාන්තර වුව ද චතුරශ‍්‍රාකාර හැඩයක් ගනී. රුවල එසවීම සඳහා කුඹයේ කෙළවර ලී කප්පියක් සම්බන්ධ කර ඇත. හික්කඩුව ප‍්‍රදේශයේ භාවිත ඔරු හී විශේෂ ලක්ෂණයක් දැකිය හැකි වේ. දිගු හරස් පොල්ලක් යාත‍්‍රාවේ ඉදිරිපස කොටසේ සිට පසුපස දක්වා ඔරු කඳ දිගේ යාත‍්‍රාවේ දකුණු පස කොල්ලෑවේ දඩු හරහා යන ලෙස සකස් කර ඇත. යාත‍්‍රාවේ කෙඳ් ගැටිය උන්නත ආකාරයට සකස් කර ඇත (Kapitan 1987:285). මසුන් දැමීම සඳහා බට පතුරුවලින් සකස් ලද කහනක් වියල් අතර හරස් ලී දඩු යොදා රඳවා ඇත. එය ගැඹුරු ඕවලාකාර හැඩයකින් යුක්ත ය.

ඔරුවේ දකුණු පස ලී කඳට වන්නට පොල්කොළවලින් වියන ලද මැස්සකි. මෙමගින් ජලය යාත‍්‍රාව තුළට ඒම වලක්වා ඇත. පලු ඔරුවේ එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණක් ගමන් ගන්නා බැවින් ඔරුවට ජලය එකතු නොවීම ඔවුන්ට පහසු වේ. පලු ඔරුවේ භාවිත නැංගුරුම ඕවලාකාර හැඩයකින් යුත් පැතලි ගලක් භාවිත කර ඇත (Kapitan 1987:286). රුවලේ රැහැන් කිහිපයකි. එක් රැහැනක් ඔරුවේ ඉදිරි කෙළවර සිට කොල්ලෑවට සම්බන්ධ පළමු වියල දක්වා දිව යයි. දෙ වැන්න කොල්ලෑව දක්වා විහිදෙන අතර තවත් රැහැනක් ඔරු කදේ ඉදිරියෙන් ගැටගසයි. තවත් රැහැන් දෙකක් අවර සිට කොල්ලෑව සම්බන්ධ වන වියල් දක්වා විහි දී යන ආකාරයට ගැටගසා තිබේ (Kapitan 1987:288-289). එම යාත‍්‍රාවේ සම්පූර්ණ දිග මීටර් 6-8ක් පමණ වේ. පන්න, යොත් පන්න, පාවෙන කරමල් දැල් සඳහා භාවිත කර තිබේ. ධීවරයන් 2‐4ක් පමණ පිරිසක් රැකියාවේ නිරත වේ. ඔරු කඳේ උඩ පැත්තේ දාරයේ කෙළවරට වියමනක් මගින් සවිකර ඇති පත්තාරය මීටර් 0.35-0.40 දක්වා වේ. ඔරු කඳ මැද කොටසේ මීටර් 1.5ක පමණ වූ වට ප‍්‍රමාණයක් ඇත.

VII. බල ඔරුව

මෙරට හමුවන විශාලතම ඔරු අතර එක් ඔරුවක් වශයෙන් හඳුනාගත හැකි ය. බල ඔරුව තරමක් කුඩා වන්නේ මාදැල් ඔරුවට පමණි (Kapitan 2009:95). ඔරු කඳ ඔරුවේ ප‍්‍රධාන ම අංගය වන අතර ඒ සඳහා කුඹුක්, බටදොඹ, හල්, බෝමි, තෙලිඟ, මල්වරා, ගන්දෙල්, අඹ, කොස් වැනි විශාල ගස් කඳන් යොදා ගනී (ප‍්‍රියන්දන 2013:281). බල ඔරුව උපයෝගී කර ගනිමින් මසුන් මැරීම සඳහා ප‍්‍රධාන ඔරුව ලෙස බල ඔරුවත් ඇම් ඇල්ලීමට ඇම් ඔරුවත් ලෙස ඔරු දෙකක් භාවිත වේ. ඇම් ඇල්ලීම සඳහා භාවිත කරනු ලබන්නේ ඒ සඳහා ම සකස්කරගත් දැලකි. හිඟුරන් නම් විශේෂ මත්ස්‍ය වර්ගය බල මසුන් ඇල්ලීමට යොදාගනී. ඇම් දැල සකස් කරනු ලබන්නේ මැද මඩිය සිටින ආකාරයට ය. කුඩා ඇස් ඇති මෙකී දැල නිර්මාණය කරනු ලබන්නේ ඔවුන් විසින්ම ය. මුහුදේ හිඟුරන් සිටින ගල් පළපුරුද්දෙන්ම පැරණි ධීවරයන් දනී. ඒකී ගල් සඳහා විවිධ නම් ද භාවිත කරනු ලබයි. ගල් පර ආශි‍්‍රතව ජීවත්වන හිඟුරන් අල්ලාගත් පසු බලඔරුව වෙත භාර දී ඇම් ඔරුව ගොඩ පැමිණේ. අල්ලාගත් හිඟුරුන් දැමීම සඳහා ‘පැහැ’ නමින් හඳුන්වන බටපොතුවලින් වියන ලද විශාල පෙට්ටියක් බල ඔරුවේ වෙයි. බල මසුන් ඇල්ලීම සඳහා ධීවරයන් විසින්ම සාදා ගන්නා ලද බිලී කටු වේ. ඊයම් බිලී, පාය බිලී, කට ආම්පන්නේ, පුඩු බිලී එම බිලී කටු වර්ගයි. මෙකී බිලී කටු මගින් ප‍්‍රධාන කොට බල මසුන් ඇල්ලීම සිදු කරන ලද අතර ඊට අමතරව අලගුඩුවන් හා තෝරන් වැනි මධ්‍යම ප‍්‍රමාණයේ මසුන් ද ඇම් මගින් අල්ලා ගත්හ (ප‍්‍රියන්දන 2013:280-281).

බල ඔරුවේ පුද්ගලයින් 12ත් 18ත් අතර ප‍්‍රමාණයක් ගමන් කරයි. බල ඔරුව දිගින් මීටර් 9ත් 12ත් පමණ ප‍්‍රමාණයකින් යුක්තව නිර්මාණය කරයි. කොල්ලෑව මීටර් 7.5 – 8ක් පමණ ය. කුඩා වර්ගයේ බල ඔරු මීටර් 10ක් පමණ දිගින් යුක්ත ය. එහි මිනිසුන් අට දෙනෙක් පමණ ගමන් කරනු ලැබේ. බල ඔරු අනෙක් ඔරු වර්ගයෙන් වෙනස් වන්නේ අත්වැල (Rowing rails) සකස් කර ඇති ආකාරය අනුවයි. අවල් හයක් ඇති ඔරුවල පිටතින් සවිකල බංකු ඇත. ඉදිරියේ අවල් කරුවන් දෙ දෙනෙකි. ඔවුන් සිටිනුයේ ඔරුවේ වම් පසට වන්නට ය. මැද අවල් කරුවන් තුන්දෙනෙක් ඔරුවේ දකුණු පසට වන්නට සිටී. බොහෝ විට රුවල දමා තිබෙන්නේ ඔරුවේ දකුණු පසට වන්නට ය. කුඹ ගසෙහි මුදුනෙහි ඇති සිදුර හරහා කඹය යවා සකස් කිරීම තුළින් එහි වපසරිය සීමා කරනු ලබයි. එසේ කිරීමට හේතුවන්නට ඇත්තේ මෙම ඔරු එක් දිශාවකට පමණක් යාත‍්‍රා වන නිසාවෙනි (Kapitan 2009:95).

කාර්තුවක් අවසානයේ දී අනෙක් කාර්තුව තෙක් වන කාලය දක්වා බලඔරුව ආරක්‍ෂා කර තැබීමන් ධීවරයින් විසින් සිදුකරනු ලබයි. බල ඔරුවේ රුවල්, අවල්, කොල්ලෑව ගලවා ‘පුරය’ නමින් හඳුන්වන පොල් අතු දහසක් පමණ යොදාගෙන සකසක ලද මඬුවක ආරක්‍ෂිතව ගබඩා කරයි. අව්ව, වැස්ස හා සතුන්ගෙන් ඔරු කඳට වන හානිය අවමකර ගැනීම මෙහි අරමුණ වේ.

VIII. මාදැල් ඔරුව

මාදැල් වටකිරීමේ ඉතිහාසය 14වන සියවසත් 15වන සියවස් අතර කාලයේ දී පමණ බව විශ්වාස කරයි. ඉන්දියාවේ සිට පැමිණි ආර්ය චක‍්‍රවත්ති සමඟ ආ පිරිස් මෙම ක‍්‍රමය මෙරටට හඳුන්වා දෙන්නට ඇත. මුලින්ම මාදැල් කර්මාන්තය පැවතුනේ මන්නාරම මුල්කර ගනිමිනි. ඉන්දු ආර්ය සංක‍්‍රමණිකයන් නිරන්තරයෙන්ම ගොඩබැසීම හේතු කොට ඔරිස්සාව, තමිල්නාඩුව, ආන්ද්‍රා වැනි වෙරළ තීරයේ පැවතියා වූ මාදැල් ක‍්‍රමය අවට ප‍්‍රදේශ වල පැතිරෙන්නට විය. අද පවා මෙම මාදැල් ක‍්‍රමය හරහා ගොඩනැගුනු භාෂාව කේරළය හා දකුණු ඉන්දියාවෙන් පෝෂණය වී ඇත. කතෝලික දහමේ ව්‍යාප්තියත් සමඟ මෙම මාදැල් ක‍්‍රමය ලංකාවේ අනෙක් ප‍්‍රදේශ කරා ව්‍යාප්තව ගොස් තිබේ (සිරිවීර 2013:209-210) මාදැල් ධීවර කර්මාන්තය තුළ මාදැල වට කිරීම සඳහා භාවිත කරන ලද්දේ යාත‍්‍රාවකි. එකී ඔරුව මේ නමින් හැඳින්වීමට හේතුවන්නට ඇත්තේ මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන දැල නිසාවෙනි (Kapitan 1988:224). ක‍්‍රමයෙන් කුඩා වීගෙන යන ඇස් සහිත දැල් කිහිපයක් මේ සඳහා භාවිත කරනු ලබයි. කෙළවර කොටස මඩිය නමින් හඳුන්වනු ලබයි. මෙම දැල ප‍්‍රවාහනය සඳහා යොදා ගන්නා ඔරුව මාදැල් ඔරුවයි. ලංකාව වටා මෙවැනි මාදැල් තොටුපලවල් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. ඔවුන් දැල එලීමේ දී කොරල් රහිත වැලි සහිත මුහුදු පතුලක් තෝරාගනී.

මාළු රංචු වෙරළ ආසන්නයේ සිට නිරීක්ෂණය කරනු ලබයි. බොහෝ විට ඒ ආශ‍්‍රිතව පිහිනායන කුරුල්ලන්ගෙන් මෙය නිරීක්ෂණය කරනු ලබයි. ධීවරයින් තම දැල් ඔරුවේ පටවාගෙන මාළු රංචුව වටවන ආකාරයට අර්ධ කවාකාරව හෝ ඕවලාකාරව එළනු ලැබේ. මෙය බොහෝවිට මීටර් 100ත් 200ත් තරම් දුරකට මෙම දැල දමනු ලැබේ. ඔරුව දියත් කිරීම සඳහා පුද්ගලයින් 15 දෙනෙකු වත් අවශ්‍ය වේ. දියත්කරන ලද ඔරුවේ සිටින එක් පුද්ගලයේ දැලේ එක් කෙළවරක් රැගෙන ගොඩට පිහිනා එන අතර එකී කෙළවර ගොඩබිම ඇති කඹයේ ගැටගසනු ලබයි. අතීතයේ දකුණු පළාත තුළ ජනප‍්‍රිය සාම්ප‍්‍රදායික ධීවර කර්මාන්තයක් ලෙස මාදැල් ධීවර කර්මාන්තය තෙල්වත්ත, ගාල්ල, හම්බන්තොට, ජනප‍්‍රියව පැවතින (Kapitan 1988:226). ඇතැම් පළාත්වල මාදැල වටකිරීම උදෑසන සිදුවන අතර ඇතැම් පළාත් වල සිදුවන්නේ සවස් කාලයේ ය (Kapitan 1988:229). හික්කඩුව බේරුවල වැනි ප‍්‍රදේශවල මාදැල් ඔරුව වෙනුවට භාවිතයට ගනු ලබන්නේ මාදැල් පාරුවයි. බොහෝ ධීවරයින් මාදැල් පාරුවට වඩා මාදැල් ඔරුවට කැමැත්තක් දක්වයි. දැඩි රළ පහරට මාදැල් පාරුව ඔරොත්තු නොදීම හා නිරන්තරයෙන් ප‍්‍රතිසංස්කරණය කිරීමට සිදුවීම මෙයට හේතුවයි.

මාදැල් ඔරුව (Kapitan 1989)

මාදැල් ඔරුව නිර්මාණය කිරීම සඳහා අනෙකුත් ඔරු සඳහා භාවිත කළ ආකෘතිය ම යොදාගෙන ඇත. මාදැල් ඔරුව තරමක් විශාල වන අතර පතුල පැතලි ස්වරූපයකින් යුක්ත ය. ඔරු කදේ මැද කොටස මීටර් 1.3‐1.8 දක්වා වට ප‍්‍රමාණයකින් යුක්ත ය. මෙහි කොල්ලෑව යාත‍්‍රාවේ දකුණුපස ඉස්සරහට වන්නට සවිකර ඇත. ඔරු කඳට පුරුද්දා තිබෙන පලුලෑලි අනෙක් ඔරු වලට වඩා උසින් යුතුව නිමවයි (Kapitan 1988:230). යාත‍්‍රාවේ අවල් සංඛ්‍යාව 4කි. ඉන් තුනක් යාත‍්‍රාවේ ඉදිරිපස කෙළවරට වන්නට සමාන දුරකින් පිහිටන සේ සකස් කර ඇත. අනෙක් අවල යාත‍්‍රාවේ පිටුපසට වන්නට සවිකර ඇත (Kapitan 1988:224) ඔරු කදේ ඇතුලේ දිග මීටර් 9 සිට 10ක් දක්වා වන අතර පත්තාර කොටසත් සමඟ දිග මීටර් 12.50ක් පමණ වේ. පත්තාර අතර පළල මීටර් 0.25-0.3 දක්වා වේ. ඔරුවේ ඉදිරිපස පත්තාර මීටර් 0.16-0.23 දක්වා පළල්ව දක්නට ඇත. මෙසේ පත්තාර පළල් කොට තිබීම වැදගත් වනුයේ විශාල මුහුදු රළ අතරින් යාත‍්‍රාව ගමන් කිරීමේ දී රළ බිදීමෙන් යාත‍්‍රාවට හානියක් නොවීමට ය (පෙරේරා 2011:228) යාත‍්‍රාව වෙරළේ නවත්වනුයේ යාත‍්‍රාවේ ඇනිය කොටස මුහුදට සිටින ආකාරයට ය. ඒ ඕනෑම අවස්ථාවක මුහුදට දියත් කිරීමේ හැකියාව තිබිය යුතු නිසාවෙනි.

IX. කුඩා කලපු ඔරුව

මෙරට ඇති බොහෝ කලපු හී භාවිත වූ සාම්ප‍්‍රදායික යාත‍්‍රාවකි. සරළ හා කුඩා ස්වරූපයෙන් නිර්මිත යාත‍්‍රාවකි. යාත‍්‍රාවේ දිග මීටර් 4 සිට 5 දක්වා වෙනස් වේ. ඔරු කඳ මීටර් 1ක් පමණ වටප‍්‍රමාණයකින් යුක්ත ය. වම් පැත්තට වන්නට කොල්ලෑව සවිකොට තිබේ. කොල්ලෑව මීටර් 2.4 දිගින් යුක්ත ය. මෙකී යාත‍්‍රාහී එක් ධීවරයෙකු පමණක් රැකියාවේ නිරත විය. යොත්, පාවෙන දැල මඟින් මසුන් ඇල්ලීම සඳහා මෙම කුඩා ප‍්‍රමාණයේ කළපු ඔරු භාවිත කොටගෙන ඇත. සෑම කලපුවකම පාහේ දක්නට ලැබුණු මෙම යාත‍්‍රාවන් නිරිතදිග හා වයඹදිග ප‍්‍රදේශවල බොහෝ සෙයින් ජනපි‍්‍රය වී ඇත (පෙරේරා 2011:236).

X. කට්ටුදැල් ඔරුව

කට්ටු දැල් ඔරුව නිර්මාණය කිරීමේ දී දිගින් යුක්ත ලී කඳක් භාවිත කිරීම නිසාවෙන් යාත‍්‍රාව දිගින් යුක්ත වේ. යාත‍්‍රාවේ දිග මීටර 8‐9 දක්වා වේ. යාත‍්‍රාවේ මැද කොටසේ වට ප‍්‍රමාණය මීටර 1.2කි. ඔරුවේ වම්පසට සවිකර ඇති කොල්ලෑවේ දිග මීටර් 3.5ක් විය. කට්ටු දැල් භාවිත කිරීමට මෙම යාත‍්‍රා විශේෂය යොදාගත් බැවින් එම නමින් මෙකී යාත‍්‍රාව හඳුන්වා ඇත. කට්ටුදැල් ධීවර කර්මාන්තය සඳහා ධීවරයින් 2-3 පමණ නිරත වී ඇත (පෙරේරා 2011:236-237). මෙහි පත්තාරයක් දැකිය නොහැකි වේ. මෙවැනි වර්ගයේ ඔරුවක් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. ඔරු කදේ දිග මීටර් 10ක් පමණ වන අතර කොල්ලෑවේ දිග පළල මීටර 05.5ක් පමණ ය. මෙම යාත‍්‍රාව නැවත නැවත ප‍්‍රතිසංස්කරණය (අණ්ඩ දමා) කර භාවිත කර ඇත. එහි දී තඹ කාසි ඇණ සමග භාවිත කරමින් දිරාගිය කොටස් නැවත සකස් කර තිබේ.

කට්ටු දැල් ඔරුව

XI. පත්තාරය සහිත කලපු ඔරුව

කලපු ධීවර කර්මාන්තයේ දී භාවිත කරනු ලබන ඔරු බොහෝ විට පත්තාර රහිතව නිමවා ඇත. මෙයට හේතුව වන්නේ කලපු තුළ රළ පහරක් නොමැති නිසා ය. නමුත් මෙම යාත‍්‍රවේ පත්තාරයක් ඇති අතර එය පාරම්පරික යාත‍්‍රාවකි. සුලභ වශයෙන් මීගමුව කලපුවේ දක්නට ලැබේ. මුහුදු ඔරුවට සමාන වුවද ප‍්‍රමාණයෙන් කුඩා වේ. ඔරු කඳ මීටර් 4ක් පමණ දිගින් යුක්ත වේ. මීටර් 0.18ක් උසැති පත්තාරය ඔරු කදේ උඩ දාරයට සවිකර ඇත. කොල්ලෑව යාත‍්‍රාවේ වම් පැත්තේ වේ. එක් ධීවරයෙකු හෝ ධීවරයන් දෙදෙනෙකු රැකියාවේ නියුතු වු අතර දැල් හා යොත් පන්න ධීවර කටයුතු සඳහා යොදාගෙන තිබේ (පෙරේරා 2011:237).

XII. විසි දැල් ඔරුව

විසිදැල භාවිතයෙන් මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා ලද යාත‍්‍රා විශේෂයයි. එසේම උගුල්වලට හසු වූ මාළුන් ඇල්ලීම සඳහා ද මෙම ඔරු භාවිත කර ඇත. කලපු හා ගංගා ආශ‍්‍රිතව බහුලව භාවිතයට ගැනුනි. මෙහි පත්තාර කොටසක් දක්නට නොමැති අතර ඔරු කඳට සම්බන්ධ කර පිටපෝරුව පමණක් නිර්මාණය කර ඇත. විසිදැල කොල්ලෑව සම්බන්ධ කරන වියල් අතර රඳවනු ලබයි. කොල්ලෑව ඔරුවේ වම්පසින් පිහිටයි. රුවල උණ ලී දෙකක් අතර රදවා ඇත. මෙම ඔරු යාත‍්‍රා කිරීමේ දී කොල්ලෑව සුලගේ මුහුණතට හරවනු ලැබේ. යාත‍්‍රාවේ දිග මීටර් 5.9ක් පමණ වන අතර කොල්ලෑව මීටර් 3.9ක් පමණ දිගින් යුත්ත ය. මෙහි ඔරු කදේ සිට කොල්ලෑවට ඇති දුර මීටර් 2.3 ක් පමණ ය (Kapitan 2009:66).

XIII. ඉස්සන් ඔරුව

මඳ සුලං පැතිර පවතින කාලයන්හී දී මෙම ඔරු විශේෂය භාවිත කරයි. සාමාන්‍යයෙන් මෙහි ධීවරයන් හතර දෙනෙක් ගමන් ගන්නා අතර ප‍්‍රධාන කොට ඉස්සන් ඇල්ලීම සිදුකරනු ලබයි. කොල්ලෑව වම් පසින් පිහිටයි. කොල්ලෑව වියල් දෙකක් මාර්ගයෙන් ශක්තිමත්ව ඔරු කඳට සම්බන්ධ කර ඇත. එසේම කොල්ලෑවේ වියල් සඳහා තවත් ලී දඩු තුනක් සම්බන්ධ කර යොදා ඇත. එමඟින් සුලං වැඩි වන අවස්ථාවේ යාත‍්‍රාවේ සමබරතාව ගිලිහී යා නොදී ආරක්‍ෂා කර ගැනීම අපේක්ෂා කරයි. ඔරුවේ රුවල නිර්මාණය කර තිබෙනුයේ සැහැල්ලු කපු රෙද්දකිනි. උස ආසන්න වශයෙන් පළල මෙන් දෙ ගුණයකි. එය ශක්තිමත් උණ දණ්ඩක රඳවා ඇත. කෙළවර කඹය කොල්ලෑවට සම්බන්ධ කරයි. කුඹයේ මුල උණ වලින් සාදන ලද රවුම් කෝප්පයක් හැඩති කොටසකට සම්බන්ධ කරනු ලබයි.

මීගමුව ප‍්‍රදේශයේ ඇති ඉස්සන් ඔරු හී විශේෂ ලක්‍ෂණයක් දක්නට ලැබේ. ඔරුවේ පාලකයා ඔරු බදේ සවිකර ඇති ලීය මත තම පය තබා යාමයි. එම ලීය පලුු ලෑල්ල නමින් හඳුන්වයි (Kapitan 2009:80). එමගින් ඔරුව පාලනය කරනුයේ එහි කෙළවර ලනුවක් රදවා එම ලණුව ඔරුවේ ඉදිරිපසට ඇති රුවලට සම්බන්ධ කිරීමෙනි. විශාලතම යාත‍්‍රා වල මෙවැනි පලු ලෑලි තුනක් පමණ දක්නට ලැබේ. එයට හේතු වන්නේ ඔරු බඳ ඇතුළත පටු නිසා එය ධීවරයන්ට සාමාන්‍යයෙන් පහසුවෙන් එහි ඇතුළත තබාගත හැකි වන්නේ එක් පයක් පමණි. සමහර ධීවරයින් පිටත කොල්ලෑවේ රාමුවේ වන වේදිකාව මත වාඩි වී යයි. මෙම වේදිකාව උණ බම්බු කිහිපයක් එකිනෙකට මනාව ගැටගසාගෙන සාදාගෙන ඇත. ආහාර භාජන රැගෙන යන්නේනම් ඒවාද රඳවා තබා ගන්නේ ද මෙම වේදිකාව මතය (Kapitan 2009:81).

XIV. තෝර ඔරු

ඉස්සන් ඔරුවට බෙහෙවින් සමාන වේ. නමුත් ප‍්‍රමාණයෙන් විශාල වන අතර තෝර මාලු ඇල්ලීමට භාවිත කරයි. රුවලක් සහිත වන අතර අවශ්‍ය විටක හබල් භාවිත කරයි. ඉස්සන් ඔරුව මෙන්ම මෙහි දී ද රුවල් දෙකක් භාවිත කරනු ලබයි. නමුත් ඉස්සන් ඔරුවේ රුවලේ රෙද්දට වඩා මෙය ප‍්‍රමාණයෙන් කුඩා වේ (Kapitan 2009:81).

XV. හැඩි ඔරු

හැඩි ඔරුවේ ධීවරයන් පස්දෙනෙකු සේවයේ නිරත වේ. ඇම් ලෙස පණ ඇති මසුන් යොදා ගෙන පන්න ධීවර රැකියාවේ නිරත වේ. එම මසුන් වෙරළ ආසන්නයෙන්ම අල්ලා ගන්නා අතර ඒ සඳහා කෝණාකාර දැලක් හා ඔරු දෙකක් භාවිත කරයි. ඇම් ඔරුවේ මසුන් මරන ආකාරයටම දැල ඔරු දෙක අතරින් පහලට හෙලා ඇම් අල්ලා ගැනීම සිදුකරනු ලබයි. යාත‍්‍රාව රුවල් දෙකකින් සමන්විත වේ (Kapitan 2009:81-82). බොහෝ වි මෙහි රුවල දෙක් භාවිතයෙන් යාත‍්‍රාකරණය සිදුකරනු ලබයි.

XVI. පොඩි ඔරුව

කුඩා ප‍්‍රමාණයේ ඔරු විශේෂයකි. එක් අයෙක් හෝ දෙ දෙනෙක් රැකියාවේ නිරත වේ. මෙම යාත‍්‍රා විශේෂය වර්තමාණය වන විට භාවියෙන් ඉවත්ව ගොස් ඇත.

පොඩි ඔරුව රුවල භාවිත කරම්න් යාත‍්‍රා කිරීම (Record of Traditional Watercraft from South and west Sri Lanka , p.125a)

XVII. කොල්ලෑව සහිත වල්ලම් ඔරුව

කොල්ලෑවක් නොමැතිව සහිතව සහ රහිතව තනි ලී කඳක් හාරා වල්ලම යාත‍්‍රාව නිර්මාණය කොට ඇත. උතුරු හා නැඟෙනහිර ධීවර ප‍්‍රදේශවල ඔරුව වෙනුවට භාවිත කොට ඇත්තේ මෙකී වල්ලම් විශේෂයයි. වල්ලමේ දිග ප‍්‍රමාණය අනුව කොල්ලෑවේ ප‍්‍රමාණය තීරණය වේ. මේ සඳහා රුවලක් ද මොවුන් භාවිත කරයි. වර්තමානයේ දී ද යාපනය ප‍්‍රදේශයේ ලී වල්ලම් විශාල ප‍්‍රමාණයක් දැකිය හැකි වේ. මේවා විශාල වෙත්ම ලෑලි කොටස් සම්බන්ධ කර ගනිමින් නිර්මාණය කරන ලද අවස්ථා ද දැකිය හැකි වේ. ඇතැම් වල්ලම් සඳහා මෝටර් බෝට්ටු සවිකර තිබුනත් බොහෝමයක් වල්ලම් තවමත් රුවල මඟින් ධාවනය කරනු ලබයි. සාමාන්‍ය දකුණේ භාවිත රුවල් ඔරුවක් නිර්මාණය කිරීමේ තාක්‍ෂණයට වඩා මෙම යාත‍්‍රා නිර්මාණ තාක්‍ෂණය වෙනස් වේ.

සාකච්ඡාව

2004 වර්ෂය තෙක් ලී යාත‍්‍රා මුහුදුබඩ කලාපයේ භාවිතා කරන ලද අතර සුනාමියත් සමඟ සාම්ප‍්‍රදායික කරදිය යාත‍්‍රා කර්මාන්තය විනාශ විය. මහාමාර්ග හා පාලම් සංවර්ධනය යන කරුණු ද මිරිදිය යාත‍්‍රා කර්මාන්තය ක‍්‍රමයෙන් අභාවයට යන්නට හේතු විය. වර්තමාණයේ නිර්මිත ධීවර යාත‍්‍රා සාම්ප‍්‍රදායික ලී යාත‍්‍රාවන්ගේ ආකෘති ඔස්සේ නිර්මාණය වනු දැකිය හැක. අහඹු වශයෙන් දකුණු ශ‍්‍රි ලංකාවේ භාවිතයේ පවතින ලී යාත‍්‍රා තවමත් සොයාගැනීමට හැකියාව පවතී. උතුරු ප‍්‍රදේශයේ මේ තත්වය වෙනස්ය භාවිතයේ පවතින ලී යාත‍්‍රාවන් බොහෝමයක් එහි දැකිය හැකි වේ. අද වන විට සාම්ප‍්‍රදායික ජල යාත‍්‍රා කර්මාන්තය සම්පූර්ණයෙන් ම පාහේ අභාවයට ගොස් ඇති අතර අනාගතයේ දී ජල යාත‍්‍රා පිළිබඳ ව අධ්‍යයනය කිරීමට ඉතිරිවන්නේ පොතපත පමණක් වනු ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ‌ලේඛන නාමාවලිය

  • පෙරේරා, එල්. (2011), ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ, ජා ඇල.
  • ප‍්‍රියන්දන, රුක්‍ෂාන් (2013), සාම්ප‍්‍රදායික ජල යාත‍්‍රාවක් වන බල ඔරුව, පුන්කලස, III වෙළුම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • සිරවීර, නීල් (2013), මාදැල් ධීවර වරායන් හී ඓතිහාසික විකාශනය හා ඉපැරණි තාක්‍ෂණික ක‍්‍රමවේදය, පුන්කලස, III වෙළුම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Devendra, Somasiri (2013), MARITIME HERITAGE OF LANKA Ancient ports and harbours, THE LOST SHIP OF LANKA, Gunaratne Offset (pvt) Ltd.
  • Kapitan, Gerhard (1987), Rrcords of native craft in Sri Lanka I: The single outrigger fishing Canoe Oruwa Part 1.2 Sailing oru, Nautical Archaeology, Vol. 16, No. 4, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (1988), Records of native craft in Sri Lanka-I: The single outrigger fishing Canoe Oruwa -plrt2.l Rowed, paddled and poled oru, Nautical Archaeology, Vol. 17, No. 3, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (1989), Records of native craft in Sri Lanka-I: The single outrigger fishing Canoe Oruwa – Patt2.2: Rowed, paddled and poled oru, Nautical Archaeology, Vol. 8, No. 2, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (1991), Records of native craft in Sri Lanka-I: The single outrigger fishing Canoe Oruwa – Part2.3: Rowed, paddled and poled oru, Nautical Archaeology, Vol. 20, No. 1, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (2009), Records of Traditional Watercraft from South and West Sri Lanka, British Archaeology Report, England.
  • Kentley, Eric & Rohan Gunaratne (1987), The Maelel Paruwa-a sewn boat with chine strakes, Nautical Archaeology, Vol. 16, No. 1, Dorset Press, Dorchester, Dorset
  • Vitharana, V. (1992), The Oru And The Yatre, Sridewi Printers, Nawinna.
  • http://www.divaina.com /2010/07/20/ feature03.html
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.11.07 වැනි දින පළමු වරට  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

අනුරපුරයේ අභයගිරි විහාරය

පුළුල් භුමි ප්‍රදේශයක් පුරාම විවිධ පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ රාශියක් දැකිය හැකි නගරයක් ලෙස අනුරාධපුරය ලෝකප්‍රකට ය. ක්‍රිස්තු පුර්ව පමණ සමයේ සිට 12 වන සියවස පමණ කාලය දක්වා විවිධ කාලවල ඉදිකරන ලද ආරාම සංකීර්ණ රාශියක් අනුරාධපුරයේ තිබූ බව දැකිය හැකි ය. මේ අතර පුජාභූමි ප්‍රදේශයේ පිහිටි අභයගිරි විහාර සංකීර්ණයට හිමිවන්නේ වැදගත් තැනකි. එය අනුරාධපුරයේ පැවති විහාරාම අතරින් විශාලතම ආරාම සංකීර්ණයයි. කලාත්මක වාස්තු විද්‍යාත්මක ආදී විවිධ මානයන්ගෙන් බලන විට අනුරාධපුරයේ පිහිටි ආකර්ශනීය ස්මාරකයන් බොහෝමයක් අයත්වන්නේ අභයගිරි සංකීර්ණයට බව පෙනේ.

අභයගිරි විහාර සංකීර්ණය අක්කර 500ක පමණ භූමි භාගයක පැතිර පවතී. ක්‍රිස්තු පූර්ව 109 හා 89 – 77 පමණ කාලයේ රජකම් කල වට්ටගාමිණි අභය (වළගම්බා) රජතුමා අභයගිරියේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනේ. මේ භුමියේ කලින් සිටි ගිරි නම් ජයින තවුසා, ආක්‍රමණිකයින්ගේ තර්ජන හේතුවෙන් නුවරින් පලායන වට්ටගාමිණි අභය (වළගම්බා) රජතුමාට  “මහා කළු සිංහළයා පලායන්නේ” යැයි අවමන් කල බව වංශ කතාවල සඳහන් වේ. පසුව නැවත බලයට පත්  වට්ටගාමිණි අභය රජතුමා, තමාට අවමන් කළ ගිරි නිගන්ඨයාගේ අසපුව විනාශ කොට, රජුට නැවත බලයට ඒමට උදව් කළ මහාවිහාරික  කුපික්කල මහා තිස්ස නම් ස්වාමින්වහන්සේ නමකට පිරිනැමීම සඳහා මෙය ඉදිකොට ඇත. උන් වහන්සේ මේ ආරාමය පිළිගෙන ඇත. තිස්ස ස්වාමින්වහන්සේ පෞද්ගලිකව මෙය පිළිගැනිම නිසා මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා ඔහුට කුල දුෂක ලෙස චෝදනා කොට මහා විහාරයෙන් නෙරපා ඇත. එහෙයින් තිස්ස ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් විශාල අනුගාමිකයන් රැසක් සමග මහා විහාරයෙන් ඉවත්ව අභයගිරියට ගොස් ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඇතිවුණු පළමු සංඝ භේදය ලෙස සැලකේ.

ථේරවාදයට නොගැලපෙන බවට  සැලකෙන දහමක් දේශනා කරන ඉන්දියාවේ සිට පැමිණි ධම්මරුචි නම් භික්ෂුව ප්‍රමුඛ භික්ෂුන්වහන්සේලා පිරිසක් අභයගිරියට පැමිණ ඇත. ඔවුන්ගේ දහම අභයගිරි වාසි භික්ෂුන් පිළිගැනිම නිසා ඔවුන් දම්මරුචි නිකාය වශයෙන් ප්‍රකට වින. අභයගිරි විහාරය ලංකාවේ මහායාන බුදු දහමේ කෙන්ද්‍රස්ථානය විය. සිව්වන ශතවර්ෂයේ දී පමණ මහසෙන් රජු විසින් මහා විහාරය විනාශ කොට අභය ගිරිය නගා සිටුවන ලදී. ඒ අනුව, පස්වන සියවස පමණ වන විට අභයගිරි පාර්ශවය භික්ෂුන් වහන්සේලා 5,000ක් පමණ සිටි බව කිය වේ. දන්ත ධාතු වහන්සේ හා පාත්‍රා ධාතුව ද  මෙම විහාරය සන්තකයේ තිබුණු බැවින් අභයගිරිය ප්‍රබල ස්ථානයක තිබුණු බව පෙනේ.

ස්තුපය, බෝධිඝරය, පොහොය ගෙය, පධානඝරය, පිරිවෙන, නේවාසිකාරාම, ළිං, පොකුණු, ඡන්තාගාර, ආදී ප්‍රධාන විහාරාමයකට අවශ්‍ය සියලු අංග වලින් මෙය පරිපුර්ණ ය. මෙය උත්තර මූල, වහදු මූල, කපාරා  මූල හා මහනෙත්පාමුල යනුවෙන් මූල හතරකින් සමන්විතව තිබී ඇත.

අනුරාධපුරයේ යන බොහෝ දෙනා සම්ප්‍රදායිකව ජනප්‍රිය ස්ථාන කීපයකට පමණක්ගොස් තම අනුරාධපුර සංචාරය නිම කරති. එසේ කිරීමෙන් අනුරාධපුරයේ කෞතුක අගය නිසිලෙස අවබෝධ කරගත නොහැක. අභයගිරි සංකීර්ණය තුළ තිබුණු සමහර ආරාමික අංග වල නටබුන් අද වුව ද දැකිය හැකි ය. අභයගිරිය නැරඹීමට යන කෙනෙකුට දැනට සංරක්ෂණය කොට ඇති මේ ස්ථාන හෝ දැක ගැනීමට හැකිවුවහොත් අභයගිරිය ගැන යම් තරමක හෝ අවබෝධයක් ලබාගත හැකිවෙයි.

විශාල භුමි ප්‍රදේශයක පැතිරී ඇති අභයගිරි විහාර සංකීර්ණය නැරඹීමට පෙර අභයගිරි කෞතුකාගාරය නැරඹීම වැදගත්ය. අභයගිරි සංකීර්ණය ගවේෂණය කිරිමේ දී සොයාගන්නට ලැබුණු කෞතුක භාණ්ඩ රැසක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එසේම එහි දී නැරඹිය යුතු ස්ථාන පිලිබඳ දල අවබෝධයක් ලබා ගත හැකි ය.

අභයගිරි සංකීර්ණයේ ස්මාරක පිහිටීම

1-Abhaya3

1. අභයගිරි දාගැබ

Abhayagiri Sthupaya

අභයගිරි සංකීර්ණයේ විශාලතම ඉදීකිරීමයි අභයගිරි දාගැබ. එය ශ්‍රී ලංකාවේ ඉදිවුණු දෙ වන විශාලතම දාගැබයි. ක්‍රිස්තු පුර්ව පළමු වන සියවසේ වට්ට ගාමිණි අභය (වළගම්බා) රජු විසින් ඇතුළු නුවරට උතුරින් පිහිටා තිබු සිරි පතුල් ලකුණක් මත මෙය ඉදිකල බව ෆාහියන් හිමිගේ දේශාටන වාර්තාවේ දැක්වේ.

අභයගිරි චෛත්‍යය ඉදිකරවන ලද්දේ  පළමු වන ගජබාහු රජතුමා බවටත්, එසේම වට්ටගාමිණි අභය ඉදිකළ චෛත්‍යය පළමු වන ගජබාහු රජතුමා විශාල කර තැන වූ බවටත් මත දෙකක් පලවී ඇත. 12 වන සියවසේ මහා පරාක්‍රම බාහු රජතුමා ද මෙය ප්‍රතිසංස්කරණය කල බව කියති.

අභයගිරි දාගැබේ නිධන් කොට ඇත්තේ ධාරණී මන්ත්‍ර හෝ සුත්‍ර කොටස් හෝ බුදු පිළිම ආදී ධර්ම ධාතු බවට මතයකි.  

AB1C
ස්තුපයේ ආයක
AB1A
ස්තුපයේ ආයක
AB1B
මල් ආසනයක්
AB1D
සළපතල මළුවේ ඇති සෙල්ලිපියක්
AB1K
දාගැබේ වැලි ‌කොන්දේ දක්නට ඇති කැටයම්
AB1J
දාගැබේ හා ආයක වල කැටයම්

AB1EAB1HAB1FAB1I

 දාගැබේ හා ආයක වල කැටයම්.  

AB1G
සිරි පතුල් කැටයමක්
AB1L
යූප ගල
AB1N
දාගැබට  පිවිසුම් දොරටුවක්
AB1O
පොකුණක්

දාගැබ් ගර්භයේ විෂ්කම්භය අඩි 310කි. උස ප්‍රමාණය නිශ්චිතව නැත. එය රියන් 180ක් වූ බව කෙනෙක් කියයි. පාහියන් හිමිගේ වාර්තාවල සඳහන් වන්නේ අඩි 400ක් කියායි. මුල් කාලයේ දාගැබේ නංවා තිබුනේ යූප ගලක් හා ජත්‍රයකි. හත්වන සියවසට පසුව කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව දාගැබ කුඩා වූ බවක් පෙනේ. මේ ප්‍රතිසංස්කරණ වල දී යුපය හා ජත්‍රය වෙනුවට දේවතා කොටුව, කොත් කැරැල්ල හා කොත එක්වී ඇත. දැනට මේ ස්තුපයේ උස අඩි 245ක් පමණ වන බව කියති. මෙහි සල පතල මලුව එක පැත්තක දිග අඩි 585ක් පමණ වේ. එනම් අක්කර 8ක් පමණ වේ. මෙතරම් විශාල මළුවකට ඇදහැලෙන ජලය බැස යාමට පිලියෙලකළ පොකුණු හා ජලනිග්ගම නාල තවම දැකිය හැකි ය. සල පතල මලුවට පිටින් ඇත් පවුරකි. සිව් දිශාවට දොරටු 4කි. බටහිර දොරටුවට වම් පසින් ශෛලමය පා ධෝවනයකි. අඩි 95ක් පමණ පළල වැලි මළුවකි. දාගැබේ සතර දිගින් වාහල්කඩ සතරකි. මේවා දේව රුප, සත්ව රුප මල් කැටයම් ආදී ගල් කැටයම් වලින් අලංකෘත ය. මුල් යුගයේ දාගැබේ නංවා තිබූ යූප ගලේ කොටස් මළුවේ තවම ඇත. මළුවේ සෙල් ලිපියක් හා නෙලුම් මලක් සේ නිර්මාණය කරන ලද මල් ආසනයක් ආදිය ද වේ.

2. බහිරව රූප

AB3
පද්ම
AB4
සංඛ

දාගැබ දකුණු දොරටුව දෙපස තනා ඇති කුඩා කුටි දෙක තුල සංඛ හා පද්ම බහිරව පිළිම දක්නට ඇත. මේවා මුර්ති ශිල්පයේ වැදගත් නිර්මාන වේ. කුවේරයාගේ ආරක්ෂකයින් වන සංඛ  හා පද්ම ආරක්ෂාවේ හා සෞභාග්‍යයේ සංකේත ලෙස පිළිගැනේ. මේ බහිරව පිළිම වල බොහෝ අනුහස් ඇතැයි ප්‍රචලිත ය. මේ පිළිම ඉදිරිපිට අපල උපද්‍රව වලට බාරහාර වීම හා විසඳා ගත නොහැකි නඩු හබ ආදියට සාක්ෂි වශයෙන් දිවිරිම ද කරනු ලැබේ. බොරු දිවුරුම් දුනහොත් අනිටු විපාක ලැබෙනු ඇති බවට විස්වාස කෙරේ. එහෙයින් මේ පිළිම ඉදිරි‌ෙයේ දී බොහෝ දෙන වරද පිළිගන්න බව කියති.

3. අභිෂේක මණ්ඩපය

Abhisheka Mandapaya
අභිෂේක මණ්ඩපය

බෝසත් පිළිම හා බුදු පිළිම සුවඳ පැනින් නැහැවීමේ හා අභිෂේක කිරීමේ මහායාන චාරිත්‍රය සිදුකළ ස්ථානය ලෙස හඳුනාගෙන ඇත. අනුරාධපුර අවසන් කාලයේ දී තනන ලද මෙහි ජලය රඳවා තබා ගන්න කානු හා අභිෂේක කිරීමේ වේදිකා දක්නට ඇත.

4. සන්නිපාත ශාලාව

AB6

දාගැබ ඉදිරිපිට (තාවකාලික කඩ පිටුපස) අභයගිරි සන්නිපාත ශාලාවේ නටබුන් දැකිය හැකි ය. අභයගිරි  භික්ෂුන් රැස්වී සාකච්චා කලේ මේ ස්ථානයේ ය. අඩි 100ක් පමණ දිග පළල ඇති ස්ථානයකි. කණු ආදිය ශේෂ වී නැත.

5. අභයගිරි ආවාස

දාගැබට බටහිර දෙසින් බොහෝ තැන්වල ආරාමවල නටබුන් දැකිය හැකි ය. භික්ෂුන් දෙතුන් නමක සිට සියගණනක් දක්වා වැඩ සිටිය හැකි ආරාම හා ප්‍රාසාද තිබෙන්නට ඇත. පන්චායතන නම් ආරාමවල දොරටු මණ්ඩපයක් මැද බුදු කුටියක් හා සිව්කොන ආරාම ගොඩනැඟිලි තිබී ඇත. මේවායේ පොකුණු වැසිකිලි ආදිය ද තිබී ඇත.

පොකුණු

Pond
Pond

6. ධාරණී ගෘහය

Dharani Gruhaya
Dharani Gruhaya

ආරක්‍ෂිත මන්ත්‍ර සේ සැළකෙන ධාරණී සුත්‍ර වලට වැඳුම්පිදුම් කිරීම මහායාන චාරිත්‍රයකි. මේ ගෘහයේ තිබී සංස්කෘත අක්ෂර වලින් ලියූ, ධාරණී ගල් පුවරු 12ක් සොයාගෙන ඇත

7. ජන්තාඝරය

භික්ෂුන් වහන්සේලා භික්ෂු විනයේ සඳහන් පරිදි, ශරීර සෞඛ්‍යය රැක ගැනීම සඳහා චුර්ණ වර්ග මැටි ආදිය ඇඟ ගල්වා ශරීරය උණුසුම් කොට උණු දිය ස්නානය කර ඇත. මේ ඒ ස්ථානයයි. මෙහි ලිප් හා ඇඹරුම් ගල් ආදිය දක්නට ඇත.

8. සමාධි පිළිමය

AB16

Samadhi Pilimaya
Samadhi Pilimaya

ගුප්ත ශෛලියට නෙලන ලද සමාධි පිළිමය ලෝකයේ ශ්‍රේෂ්ට කලාකෘතියක් ලෙස බොහෝ දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වී තිබේ.  මේ පිළිම වහන්සේ තෙවන හෝ සිව්වන සියවසේ දී බුදුරජානන් වහන්සේගේ සමාධි ගුණය නිරුපනය වන ආකාරයට වීරාසන මුද්‍රාවෙන් හුණුගලින් නිර්මිත, සිංහල මුර්ති ශිල්පයේ අභිමානය ලොවට හඬගා කියන නිර්මාණයක්වේ. අඩි 7 කුත් අඟල් 3ක් උස මේ පිළිම වහන්සේ මුහුණින් මහා කරුණාව පිළිබිඹු වන ලෙසත්, එම මුහුණ වම් පසින් බැලුවිට ශෝකී ස්වරුපයකුත්, ඉදිරිපසින් බැලුවිට ගැඹුරු සමාධියක එළඹුන ලෙසකුත්, දකුණු පසින් බැලුවිට සියුම් මදහසකුත් පෙනෙන ආකාරයට නෙලීම මගින් ශිල්පියාගේ විශිෂ්ට කළා කුසලතාව විදහා දක්වා ඇත. මේ පිළිමයේ වර්ණාලේපිත කොට තිබුණු බව විශ්වාස කෙරේ. මේ ප්‍රතිමාව බෝධිවෘක්ෂයක් වටා තැන්පත් කරතිබූ ප්‍රතිමා 4කින් එකක් ලෙස සැලකේ. මෙම පිළිමය සොයා ගැනීමේ දී එහි නාසය හානියට පත්ව තිබී ඇත. එය ප්‍රතිනිර්මාණය කිරීම හා කොන්ක්‍රීට් ආවරණය සමහර අයගේ විවේචනයට ලක්වී තිබේ. මේ සමගම හානියට පත්වූ තවත් සමාධි පිළිමයක කොටසක් සොයාගෙන ඇත. එයද මේ සමගම ඇත.

9. බෝධිසත්ව ප්‍රතිමා ගෘහය

Bodhisathwa Image House
බෝධිසත්ව ප්‍රතිමා ගෘහය

ධාතුසේන රජතුමා මෙහි බෝධිසත්ව පිළිම ගෙයක් කරවා රාජාභරණ පැළඳ වූ බවක් කියති. මෙහි තිබි 5 වන සියවසට අයත් හුණු ගලින් නිමවූ බෝසත් පිළිමයක කොටස් හමු වී ඇත.

10. කුට්ටම් පොකුණ

AB20
පොකුණු

AB19

පොකුණු

AB21
පොකුණේ ජල පෙරණය

ක්‍රිස්තු වර්ෂ 575-608 කාලයේ රජව සිටි අග්ගබෝධි රජතුමා විසින් මෙය ඉදිකරන්නට  ඇති බව සැලකේ. මෙය සිංහල ඉංජිනේරු ශිල්පයේ හා නිර්මානාත්මක කලා කුසලතා‌ෙවේ විශිෂ්ට සංකලනයකි. කැටයම් සහිතව පිළියෙළ කරන ලද ගල් කුට්ටි බදාම භාවිතයෙන් තොරව ඉතා සීරුවෙන් අතුරා මෙය තනා තිබේ. තෙවරක් පෙරණු ලබන ජලය පොකුණට පිරවීමටත්, අපිරිසිදු ජලය පොකුනින් ඉවත් කිරීමටත් හැකිවන අයුරින් එය නිර්මාණය කොට ඇත. පොකුණ තුළට පිවිසීමට පඩි පෙළවල් තනා ඇත. දෙවරකට තනන ලද මෙම පොකුණු වලින් උතුරු පොකුණ  අඩි 91ක් හා දකුණු පොකුණ අඩි 132ක් දිගින් යුතුවන අතර දෙකෙහිම පළල අඩි 132කි.

11. කපාරා මූලය

AB22

අභයගිරි මූල හතරෙන් එකක් වන කපාරා මූලය විශේෂයෙන් විදේශීය භික්ෂුන් වහන්සේලා වැඩසිටි ස්ථානය බව හෙළිව තිබේ. මෙහි තිබී හමුව ඇති සෙල් ලිපි එකළ ප්‍රධාන විදේශ භාෂාව වූ සංස්කෘත භාෂාවෙන් ලියු ඒවා ය.

12. රත්න ප්‍රාසාදයේ මුරගල

Guard Stone - Rathnaprasada
රත්න ප්‍රාසාදයේ මුරගල

රත්න ප්‍රාසාදයට පිවිසෙන පඩිපෙළ අසල ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති අලංකාර හා විශිෂ්ටතම මුරගල පිහිටුවා තිබේ. නැගෙනහිර දිසාවට අධිපති හා ආරක්ෂක ධෘතරාෂ්ට්‍ර ගේ ත්‍රි භංග රුවක් මෙහි දැක්වේ.

13. රත්න ප්‍රාසාදය

Rathnaprasadhaya
රත්න ප්‍රාසාදය

මෙය අභයගිරියේ උපෝසථාගාරයයි. කනිට්ඨ තිස්ස රජතුමා මෙය ඉදිකළ බව සඳහන්ය. දෙ වන මිහිඳු රජතුමා මෙය මහල් ගණනාවකින් යුක්තව විශාල කොට ඇත.

14. පංචාවාස

Panchawasa (Mhasen)
Panchawasa (Mahasen)
Panchawasa
Panchawasa

සිව් කොන කුඩා ගොඩනැඟිලි හතරක් හා මැද විශාල ගොඩනැඟිල්ලක නටබුන් අභයගිරි ස්තුපය සමීපයේ ප්‍රාකාරයකින් වටකළ භූමියක දැකිය හැකි ය. මෙය මහසෙන් මාලිගය යනුවෙන්ද හැඳින්වේ. මැද පිහිටි ගොඩනැඟිල්ලේ පද්මාසනයක නටබුන් ඇති නිසා මෙය බුදුගෙයක් ලෙස හඳුනාගෙන ඇත.

15. සඳකඩ පහණ

sandakadapahana 1
sandakadapahana 1

අග්‍රගන්‍ය කලා නිර්මාණයක් සේ සැලකෙන අභයගිරියේ සඳකඩපහණ පිහිටා ඇත්තේ මෙම පංචාවාස ගොඩනැඟිල්ලට ඇතුළුවන ස්ථානයේ ය.

Sandakadapahana 2
Sandakadapahana 2
Panchawasa (Bisomaligaya)
Panchawasa (Bisomaligaya)

මේ හා සමාන තවත් සඳකඩ පහනක් රත්න ප්‍රාසාදයට ඔබ්බෙන් බිසෝ මාලිගය යනුවෙන් හැඳින්වෙන ගොඩනැඟිල්ල අසල ඇත. සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ වඩාත් පියකරු සඳකඩ පහන මෙය බවයි.

16. ආසන ඝරය

Bodhigharaya
Bodhigharaya

රත්න ප්‍රාසාදයට බටහිරින් ඇති පැරණි ගොඩනැඟිලි ආසන ඝරයක් ලෙස හඳුනාගෙන තිබේ. පෙර බෞද්ධයන් වැඳුම්පිදුම් කොට ඇත්තේ බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පැමිණි ස්ථානයේ වූ වජ්රාසනයටයි. ලංකාවේ එවන් ආසන ඝරයක් හමුවන්නේ මෙහි දී ය. පිළිම වන්දනාව ආරම්භ කොට ඇත්තේ පසුකාලයේ දී ය. මෙම ස්ථානයේ පැරණි බෝධිඝරය නැතහොත් අභයගිරියේ ප්‍රධාන බෝධීන් වහන්සේ ද රෝපණය කොට තිබී ඇත. තවත් කුඩා ආසන හා සිරිපතුල් ගලක් මෙහි දක්නට තිබේ.

Samadhi Statue
දෙවන සමාධි පිළිමය

මෙහි අභයගිරියේ දෙ වන සමාධි පිළිමයද පිහිටුවා තිබෙනු දැකිය හැකි ය.

Puwaru Lipi
පුවරු ලිපි

මෙම ස්ථානයේ හතර වන මිහිඳු රජුගේ හා පස් වන කාශ්‍යප රජුගේ අභයගිරි පුවරු ලිපි ස්ථානගත කොට ඇත මෙහි අභයගිරියේ පරිපාලන නීති සටහන්කොට ඇත.

17. බරෝ ‌ගේ මණ්ඩපය

Burrows Pavilion
බරෝ ‌ගේ මණ්ඩපය

බෝධිඝරයට පිවිසීමට ඇති මෙම දොරටුව එස්.එම්. බරෝ මහතා විසින් සංරක්ෂණය කිරීම නිසා මේ නමින් හැඳින්වේ. මෙය අලංකාර ශෛලමය ඉදිකිරීමකි.

18. දෙ වැනි පිළිම ගෙය

AB32

19. තෙ වැනි සමාධි පිළිමය

AB33

අභයගිරි සෑයට මඳක් ඔබ්බෙන් තවත් බෝධිඝරයක නටබුන් හමු වේ. මෙහි ද සමාධි බුදු පිළිමයක් තිබේ. පිළිමයේ දෑතට හානි සිදු වී ඇතත් එය බෙහෙවින් ආකර්ශනීය එකකි.

20. උත්තර මුලය

Uththaramula
උත්තර මුලය

දළදා වහන්සේ භාරව කටයුතුකළ අභයගිරි විහාරයේ පැරණිතම මූලය උත්තර මුලයයි. මේ එහි මූලස්ථානයි.

21. අභයගිරි දාන ශාලාව

Refectory
Refectory
Refectory
Refectory

අභයගිරියේ වැඩසිටි 5,000ක් පමණ වූ සංඝයා වහන්සේලාට දානය පිරිනැමීම සඳහා විශාල දාන ශාලාවක් තිබී ඇත. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට යුග හතරකට අයත්වන මේ දාන ශාලාවේ නටබුන් අද ද දැකිය හැකිි ය. අඩි 50ක් පමණ හා අඩි 12ක් පමණවන බත් ඔරු දෙකක්, මුළුතැන්ගෙය, එහි භාවිත කල උපකරණ, වෙලාව බැලීම සඳහා වූ සුර්ය තැටියක් ජල සැපයුම සඳහා වූ උමං ආදිය ඒ අතර ප්‍රධාන වේ.

22. ඇත්  පොකුණ

Athpokuna
ඇත්  පොකුණ

ශ්‍රී ලංකාවේ මෙතෙක් නිර්මාණය කොට ඇති  විශාලතම පොකුණ ඇත් පොකුණයි. දල වශයෙන් අක්කර 2ක් පමණ වන එය දිගින් අඩි 487ක්, පළලින් අඩි 162ක් හා ගැඹුර අඩි 32ක් පමණ වේ. මෙහි රළපනාව ඉතා ක්‍රමවත්ව නිර්මාණය කොට තිබේ. මෙහි බිසෝ කොටුව හා  තවමත් ක්‍රියාත්මක වන බුලන් කුලම වැවෙන් ජලය සැපයු අභ්‍යන්තර ජල මාර්ග දැනුදු දැකිය හැක.

23. ප්‍රාසාද ස්තුපය

Prasadha Sthupaya
Prasadha Sthupaya
Prasadha Sthupaya
Prasadha Sthupaya

කුඩා පර්වතයක් මැදිකොට ඉදිකර ඇති පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය වැනි ඉදිකිරීමකි. අනුරාධපුර අවසාන කාලයට අයත්ය.

24. ලංකාරාමය : මණිසොමාරාමය

AB40

Lankarama Uposhathagaraya
Lankarama Uposhathagaraya
Lankarama Ruins
Lankarama Ruins
Lankarama
Lankarama

වළගම්බා රජුගේ ජීවිතය බේරාදුන් සෝමා දේවිය සිහිපත් කිරීම සඳහා වළගම්බා රජු විසින් ක්‍රිස්තු පූර්ව 89-77 පමණ කාලයේදී ලංකාරාමය ඉදිකළ බව කියති. ලංකාරාමය තුල වට දා ගෙය, බෝධි ඝරය, පොහොය ගෙය, පිළිමගෙය හා සිමා ප්‍රාකාරය ආදිය තිබීම නිසා එය අභයගිරියේ ස්වාධින ආයතනයක් ලෙස තිබුණු බව විශ්වාස කෙරේ. මෙහි වට දා ගෙය වෘත්තාකාර ශෛලමය වේදිකාවක් මත ඉදිකර ඇත. ඒ සඳහා පේළියකට කුළුණු 20ක්, 28ක් හා 40ක් වශයෙන් කැටයමින් අලංකාර කොට ඇති ගල් කුළුණු පේලි තුනක් දක්නට ඇත. මේ චෛත්‍යය අඩි 50ක් උස්වන අතර අඩි 150ක වට ප්‍රමානයකින් ද යුක්ත ය. හැඩය ආමලකාකාර (නෙල්ලි ගෙඩියක ආකාර) වේ. මේ පරිශ්‍රයේ අනෙකුත් විහාරාරාම අංග වල නටබුන් ද දැකිය හැක. මෙය භික්‍ෂුණි ආරාමයක් වන්නට ඇතැයිද විශ්වාසයකි. අතීතයේ දී මෙය මණි සෝමාරාමය, මණි ථුපාරාමය වැනි නම් වලින් ද හඳුන්වා ඇත.

25. ධාතු මන්දිරය

උත්තර මුලයේ නායක හිමියන්ගේ ආවාසය ලෙස හඳුන්වෙන ගොඩනැඟිල්ල ආසන්නයේ ධාතු මන්දිරයක නටබුන් දැකිය හැකි ය.

26. සුදස්සන පධානඝරය

වළගම්බා යුගයටත් පෙර සිට පැවත ආ බවට විශ්වාස කෙරෙන භාවනානුයෝගී පාන්ශුකුලික භික්ෂුන් වහන්සේලා වැඩ සිටි කටාරම් කෙටු ගල් ලෙන් සහිත පධානඝරයක නටබුන් අභයගිරි සංකීර්ණයේ වයඹ දෙසට වන්නට පිහිට තිබේ. වසභ රජතුමා එහි භික්ෂුන් වහන්සේලාට දුන් දීමනා පිලිබඳ සෙල් ලිපියක් මෙහි ඇති බව කියති.

මේවා නරඹන්නට යන අප මේ ස්ථාන ජීවමාන බෞද්ධ සිද්ධස්ථාන බව අමතක කළ යුතු නොවේ. එහෙයින් ඒවාට අගෞරව වන අයුරින් හැසිරීම ඡායාරුප ගැනීම ආදිය නොකළ යුතු ය.  මේ ස්ථාන මේ ආකාරයෙන් තහවුරු කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල ආදී ආයතන මගිනි. එහෙත් ඒවා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට  නරඹන ඔබගේ සහාය අවශ්‍යයි. ඒවාට හානි නොකිරීම, පරිසරය අපිරිසිදු නොකිරීම හා නරඹන වැඳුම්පිදුම් කරන අන් අය අපහසුතාවට පත් නොවන අන්දමින් කටයුතු කිරීම අපගේ වගකීමයි.

-----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.11.05 වැනි බදාදා දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
-----------------------------------------------------------------------------------

පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් අනාවරණය වන අනුරාධපුර යුගයේ නර්තන කලාව

ඉරේෂා ශ්‍යාමලී වන්නිනායක

සාරාංශය

සංස්කෘතියක් ගොඩනැඟීමේ දී ඔවුනට ආවේණික සංස්කෘතික අංග බිහිවන අතර ඒවා ඒ ඒ රටට ප‍්‍රදේශයට හා ජීවත්වන මිනිසුන්ගේ අදහස්වලට අනුව වෙනස්වෙමින් ඔවුනට ගැලපෙන අයුරින් සකස්වීම සිදු වේ. ප‍්‍රාථමික සංස්කෘතිය ගොඩනැගෙන අවස්ථාවේ දී ම නර්තනය ආරම්භ වන්නට ඇත. ප‍්‍රාථමික මිනිසා තම ගෝත‍්‍රයන්ගේ සුභසෙත ලඟාකර ගැනීම, දඩයම් සාර්ථක කරගැනීම, වර්ෂාව ලබාගැනීම, යුධ ජයග‍්‍රහණ ආදී අවස්ථා සැමරීමේ දී නර්තනය යොදාගන්නට ඇතැයි සිතිය හැකි ය. නැටුම ලෝකයෙහි පැරණිත ම කලාවන්ගෙන් එකක් යැයි මානව විද්‍යාඥයින් අදහස් කරන්නේ එහෙයිනි. සිංහල භාෂාවේ නැටුම් යන පදය දෙමළ භාෂාවේ නඩම් යනුවෙන් ද පාලි භාෂාවේ නච්ච යනුවෙන් ද හිංදි භාෂාවේ නච්චගානා, ප‍්‍රංශ භාෂාවේ දොන්සේ සහ ජර්මන් භාෂාවේ තන්ස් යනුවෙන් ද ව්‍යවහාර වේ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිස්තු පූර්ව යුගයේ පටන් නර්තනයට සවිශේෂත්වයක් හිමිව තිබූ බවට සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් තොරතුරු හමු වේ. සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් අනාවරණය වන තොරතුරුවල විශ්වසනීයත්වය තහවුරු කිරීම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් සිදු වේ. පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳ අධ්‍යනයේ දී එය යුග කිහිපයක් යටතේ සිදුකළ හැකි ය. ප‍්‍රාග් බෞද්ධ යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, ගම්පොල, කෝට්ටේ, මහනුවර, මාතර හා කොළඹ වශයෙනි. නමුත් ප‍්‍රමාණවත් පරිදි සත්‍යතා‌ෙවෙන් යුක්ත තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ අනුරාධපුර යුගයේ පටන් ය. මෙම ලිපිය තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ද අනුරාධපුර යුගයේ සාහිත්‍ය මුලාශ‍්‍රය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලින් හෙළිවන පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳවයි.

මුඛ්‍ය පද : කැටයම්, නර්තනය, රූකම්, වාමන රූප

සෞන්දර්යය විෂයන් අතර ප‍්‍රාසාංගික කලා යටතට ගැනෙන නර්තනයේ දී පරමාර්ථය වන්නේ අංග රංගනයෙන්, රූපණයෙන් හා භාව ලීලාවෙන් සන්දර්ශනය කිරීමයි. ලෝකයේ සෑම ජන කොට්ඨාශයකට ම පාහේ ආවේණික වූ නර්තන සම්ප‍්‍රදායන් දැකගත හැකි ය. සෑම කලාවකම පාහේ ආරම්භය කවදා කොතැනක දී ද යන්න නිශ්චිතව හඳුනාගෙන නැතත් මානව පරිණාමයේ සෑම අවස්ථාවක දීම නර්තනය යොදාගන්නට ඇතැයි සිතිය හැකි ය. ඔවුන් රිද්මයානුකූල චලන මඟින් තමන්ගේ අදහස් අන්‍යයන්ට ප‍්‍රකාශ කරන්නට ඇත. ප‍්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව වැදගත් සාක්‍ෂි සපයනුයේ ගුහා සිතුවම් වලිනි. ගුහා සිතුවම්වලට තේමාව වී ඇත්තේ දඩයම් අවස්ථා හා විවිධ සතුන් ය (කැකුලන්දල 2014:3). ගුහා සිතුවම් හි මානව රූප දක්වා ඇත්තේ කෝටු ස්වරූපයෙනි. ඒවාහි දී චලනයන් දැක්වීමේ දී විවිධ ශිල්පක‍්‍රම යොදාගෙන ඇති අතර ඒ අතර නර්තන ඉරියව් ද දැකගත හැකි ය. ඉන්දියාවේ බිම්බෙට්කා ගුහා සිතුවම් අතර S හැඩයේ ශරීරය දැක්වෙන සිතුවම් මෙසේ නර්තන ඉරියව් දැක්වෙන අවස්ථා ලෙස ගත හැකි ය (කැකුලන්දල 2014:36).

ප‍්‍රාග් ඓතිහාසික යුගය ඉහළ පැලියොලිතික, මෙසොලිතික හා නියොලිතික වශයෙන් යුග වශයෙන් ගත් කළ මේ සෑම යුගයක දීම නර්තනය සම්බන්ධ සාධක දැකගත හැකි ය.

ඓතිහාසික යුගයේ නර්තන කලාව පිළිබඳව සාධක පැරණි ශිෂ්ටාචාර පිළිබඳව අධ්‍යනයේ දී ප‍්‍රබලව ම හමු වේ. ඉන්දු නිම්න, නයිල් නිම්න, ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරවල නර්තනයට වැදගත් තැනක් හිමිව තිබූ බව හමුවන රූකම් හා සිතුවම්වලින් පැහැදිලි වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදුකර තිබුණ ද ගුහා සිතුවම් පිලිබඳ තොරතුරු හමුවන්නේ අල්ප වශයෙනි. ඒ අතුරිනුත් චලන ඉරියව් දැගකත හැකි සිතුවම් තන්තිරිමලය, බිල්ලෑව ස්ථානවලින් හමු වේ. බිල්ලෑව ගුහා චිත‍්‍රයේ පුද්ගලයින් දෙදෙනෙකු දක්නට ලැබෙන අතර ඔවුන් අත් වැලමිටින් නවා මදක් ඔසවා සිටියි. පාද වලින් ද චලන ස්වරූපයක් පෙනෙයි (Bandaranayake 2006:11).

ශී‍්‍ර ලංකාවේ නර්තන කලාව පිලිබදව අධ්‍යනයේ දී සාහිත්‍ය මූලාශ‍්‍රය මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන් උපයෝගී කරගත හැකි ය. සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් ලබාදෙන තොරතුරුවල විශ්වසනීයත්වය පුරාවිද්‍යාත්මක සාක්‍ෂිවලින් තහවුරු කරගත හැකි ය. මෙරට දියුණු සංස්කෘතියක ලක්‍ෂණ ගෙන ආ පළමු පිරිස වශයෙන් සැලකෙන්නේ විජය කුමරු ඇතුළු පිරිසයි. නමුත් ඊට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් මෙන් ම මනුෂ්‍ය වාසයක් තිබූ බව ජන ප‍්‍රවාද තුලින් මෙන් ම ඉන්දීයාවේ සෘෂිවරයෙක් වන වාල්මීකී විසින් රචනා කර ඇති රාමායණය තුළින් ද පැහැදිලි වේ. රාමායණයට අනුව ලංකාවේ රජකළ රාවණා රජු සකලවිධ නර්තන කලාවන් හි කෙළ පැමිණි අයෙකි. ශිව තාණඩ් ස්තෝත‍්‍ර නම්වන සංස්කෘත කාව්‍ය රාවණ රජුගේ කෘතියක් යැයි කියැ වේ. එම කාව්‍යයේ ගායන ඇසූ ඊශ්වර තමා දත් සියලු නර්තන රාවණ රජුට කියා දුන් බව ද ජනප‍්‍රවාදයේ පැවතේ (විජයමාලා මැණිකේ 2010:22). නමුත් මෙම තොරතුරු සනාථ කරගත හැකි පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය හමු වී නොමැත.

විජය කුමරු මෙරටට පැමිණෙන අවස්ථාව වනවිටත් මෙරට නර්තන කලාවක් තිබූ බවට යම් ඉඟියක් වංසකථාවෙන් සපයාගත හැකි ය. විජයකුමරු ලක්දිවට පැමිණි දින කුවේණිය සමඟ නිදමින් සිටිය දී තූර්යවාද සහිත ගී හඬක් ඇසී ඒ පිළඳව කුවේණියගෙන් විමසූ අවස්ථාවේ දී ”මේ දිවයිනෙහි සිරිසවත්ථු නම් නගරයක් ඇත. එහි මහාකාල නම් රජුගේ සහ පෝලමිත්තාවගේ විවාහ උත්සවයෙන් නැගෙන සංගීත හඬ” බව ඇය පැවැසූ බව දැක්වේ (ඉලංගසිංහ 2007:133). මෙහි නර්තනය පිළිබඳව සඳහන් නොවූව ද ඔවුන් සංගීතයට අනුව නර්තනයේ යෙදෙන්නට ඇත. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට වැද්දන් පැවතෙන්නේ මෙම යක්‍ෂ ගෝත‍්‍රිකයන් ගෙනි. වැදි ජනතාවගේ සංස්කෘතිකාංගවල නර්තනයට වැදගත් තැනක් හිමිවන අතර ඔවුන් නෑයකුන් වෙනුවෙන් නැටුම්, ගැයුම්, වැයුම් පවත්වමින් පූජා පැවැත්වීම දැකගත හැකි ය. ඔවුන්ගේ නැටුම් අතර කිරි කොරහ, හැත්මෙ නැටුම, නෑයකුන් මඩු, බත් යහන් මඩු නැටුම, ආදී වශයෙන් නැටුම් කිහිපයක් ම දැකගත හැකිය (සෝමසුන්දර 2007:183-185). මෙම නැටුම් යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ කලාවට නෑකම් කියනවා යැයි සිතිය හැකි ය.

විජය කුමරුගෙන් පසුව රජ පැමිණි පඬුවස්දෙව් (පණ්ඩුවාසදේව) රජුට වැළදුන දිවි දෝෂයක් සුව කිරීම සඳහා කොහොඹා කංකාරීය කළ බව උඩරට නර්තන ඉතිහාසයේ දැක්වේ. තව ද පණ්ඩුකාභය රජුගේ (කි‍්‍ර.පූ. 437-367) අවධිය තුළ රජතුමා කාලවේල හා චිත්තරාජ යක්‍ෂයා සමඟ දෙව්මිනිස් නර්තන බැලූබව සඳහන් වේ (ඉලංගසිංහ 2007:180). නර්තනය සම්බන්ධ මූලාශ‍්‍රය අධ්‍යනයේ දී බොහොමක් තොරතුරු හමුවන්නේ බෞද්ධාගමික උත්සව අවස්ථාවල දී නර්තනය යොදාගත් අවස්ථා පිලිබඳව ය. සංඝමිත්තා තෙරණය ජය ශ‍්‍රීමා බෝධිය වඩම්වන අවස්ථාව විස්තර කරන වංසකථාකරුවන් දෙවියන් සහ මිනිසුන් ආතතවිතතාදී සංගීත භාණ්ඩ වයමින් නටමින් ගයමින් සතුටින් අත්පොලසන් දුන් බව සඳහන් කර තිබේ (දීපවංසය 1997:156). කාවන්තිස්ස රජතුමා ”මිණි කොඩොල් රසන්දම් වළලූ ආදී නානාවිධ විචිත‍්‍රාලංකාරයෙන් සැරසුණා වූ එසේ ම කොශ්‍යෙයාදී නානාවිධ වස්ත‍්‍රයන්ගෙන් ප‍්‍රතිමණ්ඩිත වූ පක්‍ද්චාංගික තූර්යය ගත් අත් ඇති දිව්‍යාප්සරාවන් සමාන වූ නාටක ස්ත‍්‍රීන් පිරිවරන ලදුව මහජනයා සමඟ චෛත්‍යස්ථානයට ගොස් …” චෛත්‍ය ආරම්භක ස්ථානයට පුද පූජා පැවැත් වූ බව ධාතුවංසයේ සඳහන් වේ (ධාතුවංසය 1961:82).

අනුරාධපුර යුගයේ නර්තනය වාද්‍ය භාණ්ඩ සහ රංගවස්ත‍්‍රාභරණ පිළීබඳව වැදගත් සටහනක් රුවන්වැලිසෑය බඳනා සිදුවීම විස්තර කරන ථූපවංස සහ මහාවංස තොරතුරුවලින් හමු වේ. එහි විස්තර කර තිබෙන ආකාරයට, ”කනක, කටක, රසන, නූපුර, තාඩංග, පාදාඕගුලි, පාදපට, පස් පෙරහර, එක්වැටි, පා මුදු, පා සළඹ, පා පියුම්, දෙපට විද්‍යා, ඔරවසුම්, රන් සවඩි, මණිකයි වඩම්, රත්තන පට, මුතු පට්ටොඩම්, පමුතුලිංගම්, කාදු, කාප්පු රුවන් තෝඩු, සිරිකත් තොණ්ඩමාල්, මේ ආදී ආභරණ පලන් සුජාතා නම් දිව්‍යාංගනාව සමාන වූ සොළොස් දහසක් නාටක ස්ත‍්‍රීන් පිරිවරා සක්දෙව් රජුමෙන් තමන්ගේ ශ‍්‍රී සම්පත්තියෙන් බොහෝ දෙනා සතුටු කරමින් ගැටබෙර, පණාබෙර, එකැස්බෙර, මිහිඟු බෙර, දද්දර, පටහ, ලොහොබෙර,තලප්පර, විරන්දම්, උඩැක්කි, තම්මැට, රණරඟ ඝොෂා, සමුද්‍ර ඝොෂා, ඩෞර සිත්නම් යන මෙකී භෙරී ජාතීන් ද රන් සක්, රිදී සක්, ජය සක්, රුවන් සක්, රන් සින්නම්, රිදී සින්නම්, රුවන් සින්නම්, රන් දාරා, රිදී දාරා, දළහන්, ලෝහන්, ගවරහන්, විජයෝධ්වනි, ඔත්තු තන්තිරි, පටසරි මෙකී කාහළ ජාතීන් ද නකුල වීණා, භෟංග වීණා, ක්‍ෂුද්‍ර වීණා, ආලවත්ති, වඕගි, වස්ද`ඩු, මේ ආදී නාදයෙන් ද යුගන්ධර පර්වත සමීපයෙහි සාගර නාදයක් මෙන් මහත් වූ යශශ්ශ‍්‍රීන් මහත් වූ පෙරහරින් පස්වරු දාගැබ බදිනා ස්ථානයට නික්මුණේය” (ථූපවංසය 61). රජතුමා චෛත්‍ය බඳනා ස්ථානයට යෑම මෙලෙස වර්ණනාත්මකව දැක්වීමට නම් කර්තෘවරයා මෙවැනි වර්ණනාත්මක සිදුවීමක් සියැසින් දැක තිබෙන්නට ඇතැයි සිතිය හැකි ය.

දුටුගැමුණු රජුගෙන් පසුව රජ පැමිණි රජවරුන් විසින් රුවන්වැලිසෑයට සිදු කරන ලද පූජා විස්තර කරන වංසකතා කර්තෘවරු විවිධ නැටුම්ගැයුම් සහිත පූජාවන්ගෙන් මහාසෑය වන්දනා කළ බව දක්වා තිබේ. මෙම සාහිත්‍ය මූලාශ‍්‍රයවල සඳහන් තොරතුරුවල විශ්වසනියත්වය තහවුරු කිරීමෙහි ලා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් මහත් පිටිවහලක් ලැබේ. පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය වශයෙන් ශිලාලේඛන, රූකම්, මූර්ති, සිතුවම් ආදිය ගත හැකි ය.

ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ මහින්දාගමනයෙන් පසුව මෙරට අක්‍ෂර කලාව බිහි වූ බව පිලිගැනීමයි. භික්‍ෂුණ්වහන්සේලා උදෙසා ලෙන් සකස්කර පූජා කිරීමේ දී එය පූජා කළ පුද්ගලයින් පිළිබඳව ලෙනේ කටාරයට පහළින් සඳහන් කර තිබීම එකල ජනප‍්‍රිය අංගයක් වූ බව සෙල්ලිපි අධ්‍යනයේ දී පැහැදිලි වේ. එම සෙල්ලිපි තුළින් එකල සමාජය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවීම ඒතුළ ඇති විශේෂ කරුණයි. විවිධ ක්‍ෂේත‍්‍රයන් පිළිබඳව දැක්වෙන සටහන් අතර සෞන්දර්යය ක්‍ෂේත‍්‍රය තුළින් සමාජය පෝෂණය කළ අය පිළිබඳව එනම්, කාව්‍ය, නාට්‍ය, චිත‍්‍ර, ලේඛක, ක්‍ෂේත‍්‍රවල ශිල්පීන් පිළිබඳව නැට්ටුකන්ද, මැදගම විහාර, සැස්සේරුව, බිල්ලෑවේගල, විලේවැව ආදී ලිපිවලින් හෙළිදරව් වේ. එයින් සැස්සේරුව ලිපිවල ගපති නඩ චුඩහ ගප (ත)න සමුදය නට චලූය ක්‍ධිත ගෘහපති නළු චුඩගේ ස්වාමි දියණිය වූ සමුදය නළු චලූගේ දියණියයි (IC vol. I No 1005:78).

ශොබිකනග ක(මි)න මරුමකන නට චුලහ ලෙනෙ අගත අනගත චතුදිස සගස

නට චුලහ ක්‍ධිත නට සමුදය (ඣය) සමුදය (IC vol. I No 1005:79)

මැදගම ලිපියේ නඩ තිසහ බරිය පරිමකලි හුමනය ලෙනෙ (නළු තිස්සගේ භාර්යාව ස්ත‍්‍රී ප‍්‍රධානී සුමනගේ ලෙනයි) (IC vol. I No 910:71). මෙම සෙල්ලිපිවල නඩ, නට යනුවෙන් සඳහන් වන්නේ නර්තන ශිල්පීන් බව විද්වතුන්ගේ අදහසයි. නර්තන ශිල්පිනියන් පිළිබඳව මෙම සෙල්ලිපිවල සඳහන් නොවුනත් බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍රවල නාටක ස්ත‍්‍රීන් පිළිබඳව සඳහන් වීමෙන් පිරිමින් මෙන් ම කාන්තාවන් ද එම ක්‍ෂේත‍්‍රය තුළ රැදී සිටිබව පෙනෙයි.

පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳව හැදෑරීමේ දී සිතුවම්වලින් ලැබෙන්නේ අඩු දායකත්වයකි. අනුරාධපුර යුගයට අයත් සිතුවම් බොහොමයක් විනාශ වී තිබීම එයට මූලිකම හේතුව විය හැකි ය. අනුරාධපුර යුගයේ සිතුවම් ශේෂව ඇති වෙස්සගිරිය, සීගිරිය, මිහින්තලේ ධාතු ගර්භ සිතුවම් සහ මහියංගන ධාතු ගර්භ සිතුවම් වල නර්තන අවස්ථාවන් ම නොවුනත් ඉරියව්, මුද්‍රා පිලිබඳව අදහසක් ලබාගත හැකි ය. අනුරාධපුර වෙස්සගිරියේ ගුහා සිතුවම් අතර ගුවනේ සිටින පිරිමි රූපයක් (flying male figure) සිතුවමක් වේ (Bandaranayake 2006:34). මෙහි දකුණු අත හිසට ඉහළින් ඔසවා වැලමිටින් නවා හිස දෙසට කර ඇත. දකුණු පාදය දණහිසින් නවා ඇත. වම් අත සහ පාදය පිහිටීම පැහැදිලි නැත.

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැම්පත් කර ඇති ක‍්‍රිස්තු  වර්ෂ 9-11 සියවස්වලට අයත් යැයි සැලකෙන මහියංගන ධාතුගර්භ සිතුවම් හි මාර යනුවෙන් හැදින්වෙන සිතුවමෙහි ඉහළ වීණාවක් වයමින් දණහිස් දෙකම නවා ඇති ඉරියව්වක් දක්වන සිතුවමකි. ඇය නර්තනයේ යෙදෙමින් වීණාව වයනවා විය හැකි ය (Bandaranayake 2006:65). ක‍්‍රිස්තු වර්ෂ අටවන සියවසට අයත් යැයි සැලකෙන මිහින්තලේ ධෘතු ගර්භ සිතුවම් අතර වළාකුළු අතර හිඳ නර්තනයේ යෙදෙන දෙවියන් පිරිසකගේ සිතුවමක් වේ (Bandaranayake 2006:76). ථුපවංසයේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි ස්තූපයේ ධාතු ගර්භය නිර්මාණය කළ ආකාරය විස්තර කිරීමේ දී ” … දොහොත් මුදුන් දී සිටිනා දෙවියන් ද රන් කළස් ගෙන සිටිනා දෙවියන් ද රුවන් කළස් ගෙන සිටිනා දෙවියන් ද නටනා දෙවියන් ද බොර ගසනා දෙවියන් ද … ආදී දෙතිස් දිව්‍ය පුත‍්‍රයන් ධාතු ගර්භයේ සත්රුවනින් කළ බව” දැක්වෙන අතර මිහින්තලේ දේවතා රූප එවැනි නටනා දෙවියන් දැක්වීමක් විය හැකි ය.

අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ අග‍්‍රගණය සිතුවම් සේ සැලකෙන සීගිරි සිතුවමිහි නර්තනය පිළිබද තොරතුරු හමු නොවුන ද සිගිරි ලලනාවන් සමහරකගේ දෑත්වල දැක්වෙන මුද්‍රා භරත නාට්‍යම් හි එන මුද්‍රාවලට බොහෝ සමාන ය.

පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයක් වශයෙන් කැටයම්, මූර්ති වැනි රූකම්වලට වැදගත් තැනක් හිමිවන අතර අනුරාධපුර යුගයේ නර්තන කලාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ඒ හරහා හඳුනාගත හැකි ය. නර්තනය පිළිබඳ තොරතුරු රැසක් විහාරාරාම ආශ‍්‍රිතව දක්නට ලැබෙන වාමන රූ කැටයම් වලින් අනාවරණය වේ. වාමන, ගණ, බහිරව යන නම්වලින් හඳුන්වන මෙම පිරිස යම් යම් දේ ආරක්‍ෂා කරන පහත් කොට්ඨාශයක් බව විද්වතුන්ගේ අදහසයි (සුරවීර 2002:110). මොවුන් ”‍ෙභෙරවගේ දරුවෝ ය” යනුවෙන් අදහසක් ද ඉදිරිපත්ව තිබේ (විජේසේකර 1970:186). කණු හිස්වල හා ආයක කැටයම්වල දක්නට ලැබෙන මෙම කුඩා ගණරූපවල බොහෝ නර්තන ඉරියව් දක්නට ලැබේ. රුවන්වැලිසෑය වැලිමළුවේ උතුරුපස තැම්පත් කර ඇති පුරාවස්තු අතර ආයක කැටයම් කිහිපයක් තැම්පත් කර ඇත. මෙම කැටයම් පුවරුවල සිංහ කැටයම් සමඟ වාමන රූප කැටයම් දක්නට ඇති අතර එම කැටයම්වල පැහැදිලි නර්තන ඉරියව් දැකගත හැකි ය.

තව ද මහාවිහාර ව්‍යාපෘතියේ එළිමහන් පුරාවස්තු ගබඩාවේ තැම්පත් කර ඇති ආයක කැටයම් අතර වාදන භාණ්ඩයක් සමඟ සිටින වාමන කැටයමක් ද වේ.

මෙම කැටයම් හි නර්තනයේ යෙදෙන වාමනයන් ප‍්‍රිතිමත් මුහුණුවලින් දක්වා ඇති අතර ඔවුන් නටමින් වයමින් සිටින ආකාරය නිරූපණය වේ.මීට අමතරව දුවනඉරිව් දැක්වෙන කැටයම් කිහිපයක් ද වේ. ඒවාහි වාමන කැටයමේ එක් අතකින් සංඛයක් වැනි යමක් අතින් අල්වා සිටින බවක් ද පෙනෙයි. අනෙකේ වාමන රුව අතෙහි නාගයෙකුගේ කැටයමක් වේ. එය අතින් අල්වා සිටින බවක් පෙණුන ද එය පැහැදිලි නැත. මෙම කැටයම් වලින් ද නර්තන අවස්ථා නිරූපණය වනවා විය හැකි ය.

මෙම ආයක කැටයම් පුවරුවලට අමතරව කුළුණු හිස්වල හඳුනාගත හැකි ය. සිටින වාමන රූප දක්නට ලැබෙන කැටයම් හි ද නර්තන ඉරියව් දැකගත හැකි ය. මෙම කැටයම්වල සිව් දිශාවෙම නර්තනයේ යෙදෙන වාද්‍ය භාණ්ඩ වාදනය කරන කැටයම් වේ. ලෝවාමහාපායෙහි ඇති මෙවැනි නර්තනයේ යෙදෙන වාමන රූ පෙළ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන චාල්ස් ගොඩකුඹුර මහතා ඉන් නිරූපණය වනුයේ ගණ රූප මධ්‍යයේ සිටින ගණ ප‍්‍රධානියෙකු සතුටු කිරීමට කරන ලද නැටුමක් බව යි (කැකුලන්දල, 2014:87) .

මෙම වාමන කැටයම් වලට අමතරව නර්තනයේ යෙදෙන මානව රූ දැක්වෙන කැටයම් පුවරු කිහිපයක් ද දැකගත හැකි ය. ජය ශ‍්‍රී මහා බෝධිය පිට ප‍්‍රාකාරය බටහිර කොටස සංරක්‍ෂණයේ දී ගල් පුවරු ගලවා ඉවත් කරන අතරතුර හමු වූ නාටිකාංගනාවක් සහිත කැටයම් පුවරුව මෙහි දී වැදගත් වේ.

මෙහි දැක්වෙන නාටිකාංගනාවගේ පාද භරත නාට්‍යම් හි නෙඩෙ නමැති චාරී අඩව් හි තකි– ට යනන්ට අනුව තබා සිටින බවක් පෙනෙයි. වමත වැලමිටින් නවා ඇති අතර එයින් පතාක හස්ත මුද්‍රාව නිරූපණය වේ. දකුණු අත භරත නාට්‍යම්හි මූලික අත් පිහිටීම අනුව සෘජුව දිගුකරගෙන සිටියි. හිස දකුණුපසට බර කර වම්අත දෙස බලා සිටින බවක් පෙනෙයි. හිසකේ විසිර ඇති බව පෙනෙයි. රංගවස්ත‍්‍රාභරණ පැහැදිලි නැතත් ඉනෙහි බඳ පටියක් ඇති බව පෙනෙයි. පිට ප‍්‍රාකාරය ඉදිකිරීමේ දී අවට ගොඩනැඟිිලිවලට යොදාගත් ගල්පුවරු ආදිය යොදාගෙන ඇති බව පෙනෙන අතර මෙම කැටයම් පුවරුව ද එසේ වෙනත් ස්ථානයකින් ගෙනවිත් ප‍්‍රාකාරයට සම්බන්ධ කරන්නට ඇතැයි සිති ය හැකි ය.

අභයගිරිය, ජේතවන ස්තුපවල ආයකවල ද නර්තන ඉරියව් දැක්වෙන මානව කැටයම් කිහිපයක් දැකගත හැකි ය. ජේතවන ස්තූපයේ බටහිර ආයකයේ කල්ප වෘක්‍ෂය දැක්වෙන කැටයමෙහි ඉහළ නර්තන ඉරියව්වේ සිටින මානව රූප තුනකි. ඉන් මධ්‍යයේ සිටින මානවයා උඩරට නැටුමේ මූලික ඉරියව්ව වන මණ්ඩියේ ආකාරයට සිටින අතර දෑත් ඉහළට ඔසවා සිටියි. දෙ පස සිටින දෙ දෙනාගෙන් එක් අයෙකු දකුණු අත මඳක් ඔසවා සිටින දකුණු පාදය මත තබා සිටියි. ඔහු මධ්‍යයේ සිටින පුද්ගලයා දෙස බලා සිටින අතර වම් අත ඉහළට ඔසවා සිටියි. මධ්‍යයේ සිටින පුද්ගලයාට වම්පසින් සිටින පුද්ගලයාගේ රුව පැහැදිලි නැත. මොවුන්ගේ ඉරියව් හෝ වස්ත‍්‍රාභරණ පැහැදිලි නැත.

අභයගිරිය ස්තූපයේ උතුරු වාහල්කඩෙහි කල්පවෘක්‍ෂ කැටයමේ ද නර්තකයන් දෙ දෙනෙකු වන අතර ඔවුන දෙ පසට දුවන ආකාරයක් නිරූපණය වේ. කැටයම බොහෝ සෙයින් ගෙවී ඇති නිසා ලක්‍ෂණ පැහැදිලිව හඳුනාගත නොහැක. 1963 වර්ෂයේ දී අභයගිරියේ සිදුකරන ලද කැනීකින් ද නර්තනයේ යෙදෙන මානව රූප සහිත කැටයම් පුවරු කිහිපයක් හමු වී තිබේ (කැකුලන්දල 2014:90).

අනුරාධපුරයේ මිහින්තලේ කැටයම් අතර නර්තන ඉරියව් සහිත කැටයම් පුවරු හමුවන අවස්ථා කිහිපයකි. මහාදාඨික මහානාග රජතුමා විසින් (ක‍්‍රි.ව. 9-12) මිහින්තලා ප‍්‍රදේශය සංවර්ධනය කිරීමේ දී ”සෑගිරිපව්ව අවට යොදුනක් පමණ ප‍්‍රදේශය මනහර වීදියෙන් යුක්ත කොට සරසවා දොරටු සතරක් තනවා වීථි දෙපස සල්පිල් ඇතිකර තැන තැන ධ්වජ පතාකාදියෙන් සරසවා නැටුම් ගැයුම් වැයුම් ආදියෙන් යුක්ත කරවීය..” (ඉලංගසිංහ 2007:335) යනුවෙන් වංසකථාවේ දැක්වේ. මිහින්තලේ දක්නට ලැබෙන කැටයම්වලින් එම වංසකථා තොරතුරු සනාථ කරගැනීමට සාක්‍ෂි සපයා ගත හැකි ය. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ ඇති කැටයම් අතර ද නර්තන රූප කිහිපයක් ම දැකගත හැකි ය. ගණදෙවි රූපයක් මැදිකොට විවිධ භාණ්්ඩ වාදනය කරන වාමන රූප පෙළක කැටයමක් වේ. ගණ දෙවියන්ට කරන පූජාවක් හෝ පෙරහැරක් මෙයින් නිරූපණය වන බව විද්වත් අදහසයි.

මිහින්තලේ සිංහ පොකුණෙහි සිටගෙන සිටින සිංහ රූපයට ඉහළින් ඇති කැටයම් අතර ද නර්තනයේ යෙදෙන වාමන සහ කාන්තා රූප දක්නට ලැබේ.

මෙම රූකම්වලට අමතරව අනුරාධපුරමේ ඇතුළු නුවර මහාපාලි දානශාලාවට නැගෙනහිර සිදුකරන ලද කැනීම්වලින් පැතගි අණ්ඩාකාර පළිඟු මුද්‍රාවක් හමු වී ඇති අතර එහි මලක් වමතින් ගත් නිළියකගේ රුවක් කැටයම් කර ඇත. දකුණු අත ඉන මත තබා සිටි. මෙම මුද්‍රාව ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවස්වලට අයත් යැයි ජෝන් මාෂල් පවසා තිබේ. මෙම මුද්‍රාව ග‍්‍රීක පර්සියානු මුද්‍රාවල පිරිහුණු අනුකරණයක් යැයි ද ඔහු පවසා තිබේ (පරණවිතාන 2014:70).

කුට්ටමපොකුණෙහි අඩිතාලමට යටින් හමු වූ ලෝකඩ නිළි රූපය නර්තන කලාව පිළිබඳ වැදගත් සාක්‍ෂියක් වශයෙන් ගත හැකි ය. මෙම මූර්තියෙහි දකුණු අතින් කටකාමුඛ මුද්‍රාව දැක්වෙන අතර වම් අත තරමක් ඉහළට ඔසවා ඇත. යටිකය ධෝතයකින් සැරසී සිටියි. කුණ්ඩලාභරණ, වළලූ, කරමාල, ඉන පලඳනා, නූපුර වැනි ආභරණ පැළැඳ සිටින බව පැහැදිලි ය (කැකුලන්දල 2014:97).

පතාක මුද්‍රාව කපිත්ථ මුද්‍රාව කටකාමුඛ මුද්‍රා

පුරාතන ලංකාවේ පැවැතියේ කුමන ආකාරයක නර්තන සම්ප‍්‍රදායක් ද යන්න අධ්‍යනයට නම් නර්තන අවස්ථා දැක්වෙන කැටයම්වල ඉරියව් සහ මුද්‍රා පිළිබඳව මෙන්ම රංගවස්ත‍්‍රාභරණ සහ වාද්‍ය භාණ්ඩ පිළිබඳව අවධානය යොමුකළ යුතු වේ.

නර්තනය පිළිබඳව අධ්‍යනයේ දී අවස්ථා කිහිපයක් සඳහා නර්තනය යොදාගත් බව පෙනෙයි. විවිධ උත්සව සඳහා මෙන් ම රාජමහාමාත්‍යාන්දීන් වෙනුවෙන් නර්තනය දැක් වූ අවස්ථා වශයෙනි (අමරසිංහ 2007:171). නර්තනය පිළිබඳ අධ්‍යනයේ දී ආගමික පසුබිම එයට වැදගත් තැනක් දී ඇති බව පෙනෙයි. මෙම නර්තන වල දී අලංකාර මෙන් ම සංකීර්ණ වූ ඇදුම්පැළැඳුම් මෙන් ම සංගීතය ද යොදාගෙන තිිබේ. මෙම නර්තන අවස්ථා අධ්‍යනයේ දී මුද්‍රා කිහිපයක් දැකගත හැකි ය. එම මුද්‍රා අතර කටකාමුඛ, පතාක, කපිත්ථ, ගජ හස්ත, අංජලී, වැනි මුද්‍රා බහුල ය. මෙම මුද්‍රා දකුණු ඉන්දියානු භරත නාට්‍යම් හි භාවිත කරන මුද්‍රාවන් ය. මෙම මුද්‍රා යොදාගනිමින් කිසියම් අදහසක් ප‍්‍රකාශ කරන අතර කටකාමුඛ මුද්‍රාවෙන් මල් කැඞීම, කපිත්ථ මුද්‍රාවෙන් සරස්වතී, ලක්‍ෂ්මී, මලක් අතින් ගෙන සිටිම, පතාක මුද්‍රාවෙන් සුළඟ, ගඟ, වළාකුළු ආදිය නිරූපණය වේ.

නර්තන ඉරියව් බොහොමක් දැකගත හැකි වාමන රූපවල මුද්‍රා පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත නොහැකි ය. නමුත් වාමන කැටයම් හි දෑත් තබා සිටින්නේ සාම්ප‍්‍රදායික උඩරට නර්තන සම්ප‍්‍රදායේ දෑත් පිහිටුවන ආකාරයට ය. එක් අතක් ඉහළට ඔසවා අනෙක් අත වැලමිටින් නවා ඉදිරියට කර සිටීම, දෑත් දෙකම ඔසවා සිටිම වැනි ඉරියව් එහි දී බහුලව දැකගත හැකි ය. පාද තබා සිටින ඉරියව් ගත් කළ මානව රූ කැටයම් කිහිපයකම භරත නාට්‍යම් හි අරමණ්ඩිය සහ චාරී අඩව්හි තකිට යන්නට සමාන ආකාරයට තබා සිටිනු දැකගත හැකි ය. වාමන කැටයම් හි පාද කෙටියෙන් දක්වා ඇති නිසා ඉරියව් නිවැරදිව ම කිව නොහැකි නමුත් දකුණු පාදය තරමක් දිගුකර වම් පාදය දණහිසින් නවා සිටින බවක් පෙන්නුම් කරන අවස්ථා වෙයි. දුවන ඉරියව්වෙන් එක් පාදයක් ඉදිරියටත් අනෙක් පාදය පිටුපසටත් කර ඇති අවස්ථා ද වේ. තව ද මණ්ඩියට නැමී සිටින ආකාරයේ ඉරියව් ද සමහරක් කැටයම් හි දැකගත හැකි ය.

මෙම ඉරියව් එකල පැවැති සාම්ප‍්‍රදායික නර්තන ඉරියව් වලින් උකහාගත්තා විය හැකි ය. නර්තනයේ දී ආහාර්යය අභිණය යටතට ගැනෙන රංගවස්ත‍්‍රාභරණ පිළිබඳව අධ්‍යනයේ දී ප‍්‍රාග් ඓතිහාසික ජන කොටස් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා නර්තන ඉදිරිපත් කිරිමේ දී යොදාගත් රංගවස්ත‍්‍රාභරන පිළිබඳ දෘශ්‍ය සාධක හමු නොවේ. පණ්ඩුවාසදේව රජු සමයේ ආරම්භ වූවා යැයි සැලකෙන කොහොඹා කංකාරියේ දී මලය රජුගේ සූ සැට ආභරණවලින් සැරසුන බව සඳහන් වන අතර වර්තමාන වෙස් ඇඳුම් කට්ටලය එයින් කොටසක් බව උඩරට නර්තන ඉතිහාසයේ සඳහන් වේ. සාහිත්‍ය මුලාශ‍්‍රය අධ්‍යනයේ දී ඓතිහාසික යුගයේ නර්තනවල දී භාවිත කළ රංගවස්ත‍්‍රාභරණ පිළිබඳව විචිත‍්‍ර වූ විස්තර ඉදිරිපත් කර තිබේ. ථූපවංස කතුවරයා දුටුගැමුණු රජු රුවන්වැලි සෑය බඳනා උත්සවයට සහභාගී වූ අවස්ථාව විස්තර කිරීමේ දී නාටිකාංගනාවන් ගේ ඇඳුම්පැළැඳුම් පිළිබඳව දක්වා ඇති විස්තරය දැක්විය හැකි ය. එහි දී දිව්‍ය අප්සරාවන්මෙන් නාටක ස්ත‍්‍රීන් සැරසී සිටි බව දක්වා තිබේ. එම තොරතුරු සනාථ කරගත් හැක්කේ දැනට ශේෂව ඇති කැටයම් හා රූකම්වල දක්නට ලැබෙන රංගවස්ත‍්‍රාභරණ වලිනි. වාමන රූ කැටයම්හි ඔවුන්ගේ් ඇඳුම් පිළිබඳව වැඩි විස්තරයක් නිරුපනය නොවුනත් ඔවුන් උඩුකය නිරුවත්ව යටිකය කෙටි ධෝතයකින් සැරසී සිටින බව පෙනෙයි. ඉනෙහි බඳ පටියක් දක්නට ලැබෙන අතර ඇඳුම්වලට සළු පොටවල් සහ නරු පොටවල් තිබූ බව ඇතැම් කැටයම් හි ඒවා විහිදමින් නටන අවස්ථා නිරුපණය වේ. ආභරණ පිලිබඳව දැක්වීමේ දී සරල අවස්ථාවේ සිට විචිත‍්‍ර ආභරණ දක්වා භාවිත කළ බව පෙනෙයි. කරමාල විවිධ හැඩයෙන් දක්වා ඇත. කේයුර, කුණ්ඩලාභරණ, මකුට, වළලු, සිලම්බු ආදිය හොඳින් නිරූපණය වන අවස්ථා වේ. කුණ්ඩලාභරණ ද ආකාර කිහිපයකින් දක්වා ඇත. කෙස්වැටිය කඩාගෙන සිටින අවස්ථා මෙන්ම අලංකාර කේෂාභරණ යොදාගෙන ඇති අවස්ථා ද වේ.

මානව රූ කැටයම් බොහෝ සෙයින් ගෙවී යාම නිසා ඇඳුම්පැලඳුම් පැහැදිලි නැතත් වළලුකර දක්වා දිගට වස්ත‍්‍ර ඇද ඇති ආකාරය මෙන් ම එක් කකුලක වළලුකර දක්වා ද අනෙක් කකුලේ දණහිස මට්ටම දක්වා ද ඇඳුම් ඇද ඇති බව පෙනෙන අවස්ථා වේ. ස්ත‍්‍රී පුරුෂ දෙපක්‍ෂයටම මෙය පොදු ය. මහාපාලිදාන ශාලාව අසලින් හමු වූ මුද්‍රාවේ අලංකාර හිස් වැසුමක් දක්නට ලැබේ. එය අලංකාර කේෂාභරණයක් විය හැකි ය. කුට්ටම්පොකුණෙන් හමු වූ නාටිකාංගනාවගේ වස්ත‍්‍රාභරණ භරත නාට්‍යම් හි වස්ත‍්‍රාභරණවලට සමාන ය. සාහිත්‍ය තොරතුරු අනුව ගත්කළ නර්තනයේ දී වෙනත් අවස්ථාවලට වඩා විචිත‍්‍රවත් අලංකාර අයුරින් නර්තන ශිල්පීන් සැරසී සිටින්නට ඇත.

නර්තන අවස්ථා දැක්වෙන බොහොමයක් අවස්ථාවල වාද්‍ය භාණ්ඩ ද ඒ සමඟ දක්වා තිබේ. නර්තනයේ දී වාද්‍ය භාණ්ඩ අනිවාර්යය වන්නට ඇත. බෙර වයමින්, නලා පිඹිමින් වීණා වයමින් නර්තනයේ යෙදුන බව සාහිත්‍ය මූලාශ‍්‍රය මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය ද සාක්‍ෂි දරයි. බටනලාව, හක්ගෙඩිය, උඩැක්කිය, තාලම්පට, බුම්මැඩිය, ගැටබෙරය, පහතරට බෙරයට සමාන බෙර, වීණාව මෙම සංගීත භාණ්ඩ අතර පැහැදිලි ව හඳුනාගත හැකි ය. මෙරට නර්තනයේ ආරම්භය පිළිබඳ පිළිගත් අදහසක් නොමැති වූවත් සිංහල යක් නැටුම් වැද්දන්ගෙන් අනුකරණය කොටගත් බවත් එම නැටුම් ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවැත එන බවත් පර්ටෝල්ඞ් පඬිවරයාගේ අදහස වී තිබේ (කුලතිලක 2014:81). පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් සනාථ නොවුණ ද අද දක්වාම පැවැත එන උඩරට නර්තන සම්ප‍්‍රදායේ උපත පඩුවස්දෙව් රාජ්‍ය සමය දක්වා ඉතිහාසයට යන බව සඳහන් වේ. මෙහි දී ගීමඩු පුරාණය නම් පුස්කොළ පොතේ දැක්වෙන ආකාරයට පඩුවස් දෙව් රජුට ගී මඩු ශාන්ති කර්මය සිදුකළ බවත් ඒ සඳහා යාග කරුවන් ලංකාවේ මලය රටින් එනම් මායා කඳු ප‍්‍රදේශයෙන් වර්තමාන සිංහරාජ අඩවියේ උතුරු පෙදෙසින් ගෙන්වාගත් බවත් ය. මෙහි දී යොදාගත් වලල් වෙස් ඇදුම වර්තමානය දක්වාම සබරගමු ප‍්‍රභූ පවුල්වල රැුකියාව බව ද දැක්වේ. විජය ලංකාවට පැමිණෙන විටත් මෙරට නර්තනය තිබූ බව සනාථ වන අතර යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවැත එන වැද්දෝ කිසිවිටක ආර්යයන් සමඟ මිශ‍්‍ර නොවූ අතර ඔවුන් ආර්යයන්ගේ සංස්කෘතිකාංග අනුකරණය නොකරන්නට ඇත. ඔවුනගේ සංස්කෘතිය අනුව නිර්මාණය වූ කලාවන් ද මෙරට පවතින්නට ඇත. මෙරටට පැමිණි ආර්යයන්ගේ සංස්කෘතිය ද මෙරට සමාජයට අන්තර්ග‍්‍රහණය වන්නට ඇතැයි සිතිය හැකි ය. මෙරටට පැමිණෙන විජයගෙන් පසුව විවිධ අවස්ථාවල දකුණු ඉන්දියාවෙන් බොහෝ පිරිසක් ලංකාවට පැමිණි අතර ඔවුනගේ සංස්කෘතිකාංග ද ඒ සමඟ පැමිණෙන්ට ඇති බව පිලිගත යුතු ය. පසු කාලීනව මෙරට නිර්මාණය වූ කැටයම්වල දකුණු ඉන්දීය ආභාෂය මෙන් ම ස්වදේශිය අනන්‍යතාව ද දැකගත හැකිවීම එයට හේතුවයි. උඩරට ගැටබෙරය, පහතරට යක් බෙරය, වස්දඬුව ආදිය ඉන්දීය අනුකරණ නොව ඒවායේ ස්වාධීන ලක්‍ෂණ ගණනාවක් දැකගත හැකි ය (කුලතිලක 2014:82) . නමුත් දෙවියන්ට ප‍්‍රියවන ඝණ්ඨා, සක් නාද යක් නැටුම්වල නැත් අතර ඒවා ඉන්දීය දේව සංකල්ප අනුව මෙරටට ලැබෙන්නට ඇත. පහතරට යක් බෙරය එනමින් පැරණි මූලාශ‍්‍රයවල සඳහන් නොවන අතර පණා බෙරය යනුවෙන් සඳහන් වන්නේ එය යැයි විශ්වාස කෙරේ. මෙම බෙරය මැලේසියාවෙන්, ජාවා රටෙන් මෙරටට ලැබුණ බව විද්වත් අදහසයි (කුලතිලක 2014:82). වස්දඬුව, බටනලාව මෙරට වාද්‍ය භාණ්ඩ අතර දැකගත හැකි ය. වස්දඬුව මංගර දෙවියන් පිලිබද කථාවේ දී ඔහුට නැවැත ප‍්‍රාණය ලබාගන්නට භාවිත කර ඇත. එය පැරණි ඊජිප්තු වැසියන් පවා විශ්වාස කළ දෙයක් බවට සාධක තිබේ. ඉන්දීය ආභාෂය අනුව බටනලාව වයන්නේ කාමෝද්දීපනය ඇති කිරිම සඳහා ය (කුලතිලක 2014:87). ලෝවාමහාපායෙන් හමු වූ ගණ රූප අතර ඇති උඩැක්කිය ශිව දෙවියන්ගේ නටරාජ රූපවල එන ඩමරු නමින් හැදින්වෙන භාණ්ඩයට සමාන ය. එහි ම දැක්වෙන කුම්භ බෙරය ද මෘදංගයට සමාන ය. එය අමරාවතී කැටයම් අතර ද දැකගත හැකි ය. මේ අනුව පැහැදිලි වන්නේ එම සංගීත භාණ්ඩවලට දකුණු ඉන්දීය ආභාෂය ලැබුණ බවයි. එසේ ම භරත නාට්‍යම් මුද්‍රා, ඉරියව්, වස්ත‍්‍රාභරණ පැහැදිලිවම දැකගත හැකි මූර්ති හමුවීම තුළ නර්තනය සඳහා දකුණු ඉන්දීය ආභාෂයත් ලැබුණ බව පැහැදිලි ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ‌ලේඛන නාමාවලිය

  • අමරසිංහ, මාලිංග (2007), පැරණි ලක්දිව වස්ත‍්‍රාභරණ, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • ඊරියගම, තිස්ස (2006), සිංහල විශ්වකෝෂය, සංස්කෘතික දෙපාර්තමේන්තුව.
  • කරුණාතිලක, ඩබ්.ඇස්. (1989), සිංහල ථූපවංසය, ඇම්.ඞී ගුණසේන සහ සමාගම කොළඹ.
  • කහඳවආරච්චි , චන්ද්‍රදාස (1997), සිංහල දීපවංසය (සංස්), ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • කැකුලන්දල, කෝෂලී (2014), ලක්දිව පැරණි නර්තන කලාව, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ, ජා ඇල.
  • කුලතිලක, සී.ඇස්. (2014), ශී‍්‍ර ලංකාවේ සංගීත සම්භවය, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • දිසානායක, මුදියන්සේ (2002), කොහොඹා කංකාරිය සහ සමාජය, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • පරණවිතාන, සෙනරත් (2014), පුරාවිදු පරියේෂණ, විසිදුණු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව.
  • පරණවිතාන, සෙනරත් (2009), පුරාවිදු ලිපි මාලා, සී/ස ස්ටැම්ෆර්ඞ් ලේක් (පුද්ගලික) සමාගම
  • බණ්ඩාර, නිලත්ති (2008), පුරාණ ලංකාවේ සමාජය(බ‍්‍රාහ්මී ශිලා ලේඛණ ඇසුරින්), කඩුල්ල ප‍්‍රකාශන, කඩවත.
  • රාජපක්‍ෂ, වෛද්‍යවතී (2002), බෞද්ධ පූජා සහ භේරි වාදන සංස්කෘතිය, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ශ‍්‍රී සුමේධංකර හිමි, දඹගස්ආරේ (1961), ධාතුවංසය, රුවන් මුද්‍රණාලය, කොළඹ
  • සරත්, ලයනල් (2006), පැරණි ලක්දිව සිංහල දෙමළ සබඳතා, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සුමංගල හිමි, හික්කඩුවේ සහ බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත (2006), මහාවංසය (ප‍්‍රථම භාගය) (සංස්), ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සෝමසුන්දර, දයානන්ද (2007), හෙළදිව්වාසින් හා ආදිවාසින්, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • Bandaranayake, Senaka The Rock and wall painting of Sri Lanka, 2006,Stamford pvt Ltd
  • Paranavitana, S. (1970), Inscription of Ceylon vol I , Department of Archaeology
  • Paranavitana, S. (1970), Inscription of Ceylon vol II, Department of Archaeology
-----------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.10.30 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------

අනුරාධපුර යුගයේ පැවතුණු කලා සම්ප්‍රදාය පිළිබඳ සාධකයක් : වාමන රූ

අයි. එ්. කුමාර

රිටිගල ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල

අයි. එ්. කුමාර

කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ කලාව චිත‍්‍ර, මූර්ති, මුදානකරණය වැනි දෘෂ්‍ය මාධ්‍යයන්ට ද අයත් වේ. මිනිස් ජීවිතයට බද්ධ වූ අංගයක් වන කලාවේ පරමාර්ථය රස නිෂ්පත්තිය යි. ඇස කණ පිනවීම මගින් මිනිස් මනස සංතර්පනය කරයි ද සංගීතය, සාහිත්‍ය, චිත‍්‍ර, මූර්ති ආදී වූ කලාවට අයත් වන ඹ්නෑම විෂ්‍යයක් එතැන පැවතිය යුතුම ය. දුක, සතුට, වේදනාව, බිය, රතිය, ත‍්‍රාසය, ශුංගාරය ආදී වූ රසයන් මිනිස් සිතේ ඇති කරමින් ඔවුන්ගේ මනස පිනවීමට, අස්වසාලීමට සහ අසහනයට පත් කිරීමට යමක් සමත් වන්නේ නම් එය කලාව යි. යමෙකු සමත් වන්නේ නම් ඔහු කලා කරුවා ය. මෙම ලිපිය මගින් සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ අතීත අනුරාධපුර යුගයේ පැවතුනා වූ කලා සංස්කෘතිය පිළිබඳව ප‍්‍රබල සාක්ෂි සපයන්නා වූ නිර්මිතයක් වන වාමණ රූ පිළිබඳව ය.

අනුරාධපුර යුගයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයෙහි විවිධ නිර්මාණයන්වලට අන්තර්ගත වන ලෙස වාමන රූ නිමවා තිබීම හඳුනාගත හැකි ය. මෙහි දී අවදානය යොමු කර තිබෙන්නේ ගොඩනැඟිලි ඉදිකිරීමේ දී යොදාගත් ගල් කණු හිස්වල නිමවා ඇති වාමන රූ පිලිබඳව ය. මේවා බහිරව රූ, ගන රූ ලෙසින් බොහේ දෙ‌ෙනකු හඳුන්වනු ලබයි. මිටි දේහ විලාසයෙන් කොට අත් පා සහිත ව පිම්බී ඇති උදරය, විසාල ඇස්, පලල් තොල්, පලල් කම්මුල් සහ පලල් හකු වලින් යුක්ත ව විටෙක හාස්‍ය මුසු මුහුනින් විටෙක රෞද්‍ර මුහුනින් සහ විටෙක බියක් ඉස්මතු වූ මුහුනින් නිමවා තිබේන මෙම වාමන රූ බැලූූබැල්මට ම දකින්නාගේ සිත තුල හාස්‍ය උපද්දවා ලන්නේ කුරුමිටි මිනිසුන් සිහි කරවමින් ය. ක‍්‍රිස්තු වර්ෂ පලමු වන හෝ දෙ වන සියවස් වලට අයත්වන වාමන රූ උඩුකය නිරාවර්ණව යටිකය සලුවකින් ආවර්නය කර නිමවා තිබීම හෝ නිර්වස්ත‍්‍රව නිමවා තිබීම හදුනාගත හැකි වේ. නිර්වස්ත‍්‍රව මූර්ති ඉදි කිරීම ගුප්ත කලාකරුවාගේ රුචිකත්වයක්, ලක්ෂණයක් වන බැවින් මෙකී නිර්මානයන් ද ගුප්ත කලාවට නෑකම් කියනු ලබයි.

මෙම වාමන රූ අධ්‍යයනය කිරීම ඔස්සේ පුරාණ සිංහලයේ පැවති සංස්කෘතික උත්සව, නර්තනය, සංගීතය සහ විවිධ සංගීත භාණ්ඩ ආදී වූ කලා සංස්කෘතියට අයත් යම් යම් කරුණු පිළීබඳව තොරතුරු සපයා ගැනීමට අවකාශ සැලසේ. ශිලා, ලෝහ, දැව සහ ඇත් දල ආදී මාධ්‍යයන්ගෙන් වාමන රූ නිර්මානය කර තිබෙන බවට සාදක ලංකාව පුරා විසිරීපැතිර ඇති පුරාවිද්‍යාත්මකව වැදගත්වන්නා වූ ස්ථානයන්ගෙන් අනාවරණය කර ගත හැකි ය. අනුරාධපුර ලෝහමහාප‍්‍රාසාදයේ ඇති කුලුණු හිස්වල, ථූපාරාම ස්තූප වටදාගෙයහි කුලුණු හිස් වල, රුවන්වැලි ස්තූපයට වයඹ දෙසින් වන නටබුන් ස්මාරක ආශ‍්‍රිතව ඇති කුලුණු හිස් වල පාෂාණ භාවිතයෙන් නිමවා තිබීමත්, ඇම්බැක්කේ කැටයම් අතර දැවයෙන් නිමවා තිබීමත්, ගඩලාදෙනිය සහ රිදීවිහාරයේ ඇත් දල වලින් නිමවා තිබීමත්, දැදිගමින් ලෝහ මාද්‍යයෙන් නිමවා තිබීමත් හදුනාගත හැකි ය.

පුරාණ සිංහලයේ පැවති සංස්කෘතික උත්සව, නර්තනය, සංගීතය සහ විවිධ සංගීත භාණ්ඩ පිලිබදව පුරාවිද්‍යාත්මකව සාදක සපයන්නා වූ මෙකී නිමැවුම් පිළිබදව සාකච්ඡා කිරීමේ දී මහාවංශය, දීපවංශය, ථූපවංශය, ධාතුවංශය, බෝධිවංශය, ජාතකපොත සහ සෙල්ලිපි ආදී වූ සාහිත්‍යමය සාදක මගින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. ක‍්‍රිස්තුු පූර්ව 6 වන සියවසේ දී විජය ඇතුළු 700ක් පිරිස ලංකාදීපයට ගොඩගසන විට නැටුම්, ගැයුම් පැවති බවත් දුටුගැමුණු රජු සොලීන් පරදවා මෙරට එක් සේසත් කිරීමේ ප‍්‍රීතියෙන් නාටක ජනයා නටමින් වයමින් මහත් සේ ප‍්‍රීති වූ බවත් දුටුගැමුණු රජු මහාථූපය පිහිටුවීමේ දී නාටිකාංගනාවන් නානාවිධ තූර්ය ඝෝෂක වලින් යුක්ත ව මලුුවට පැමිනි බවත් එම ධාතු ගර්භයේ නටන වයන දෙවියන්ගේ රූ ඇති බවත් දුටුගැමුණු රජුගේ කළුරිය කිරීමෙන් අනතුරුව එතුමාගේ ඔටුන්න ගැලවූයේ ද නාටක පිරිස් විසින් බවත් සහ පරාක‍්‍රමභාහු රජු නැටුම්ගැයුම් හදාරමින් නර්තනයට හා රංගනයට නාටක ශාලා සාදවා ජනතාවට ලබාදුන් බවත් එතුමාගේ රූපාවතී නම් බිසව නෘත්‍යයේ කුෂලතා දැක්වූ බවත් සහ අනුරාදපුර යුගයේ අවසන් කාලයේ දී මිහිදු රජු මහා ථූපයට නෘත්‍ය ගීත පුෂ්ප පහන් දුම් ආදියෙන් සමන්විතව පුදපූජා කළ බවත් මහාවංශයේ සදහන් ය. භාතිකාභය තිස්ස රජු මහාථූූපයට කල පූජා ගැනත් එහි දී නෘත්‍ය පැවති බවටත් මිහිදු රජු මහාථූපයට පහන් හා සුවද පූජා කලේ නැටුම් වැයුම් සහිත වූ උත්සවයක් ආකාරයෙන් පැමින බවත් මහාවංශයේ සදහන් වේ. පංචතූර්්‍ය නාදයෙන් මහා ථූපයට උදේ සවස පුද පූජා කිරීමට නියොගයන් පවා නිකුත් කළ බවටත් සදහන් වේ. මහාථුප සුණු පිරියම් මංගල්ලය සහ හ‍්‍රී මහාබෝධි ස්නාන පූජාව ආදී උත්සව සිදු කළ බවත් එහිදී පංචතූර්්‍ය වාදනයන් සහිත ව නැටුම්, ගැයුම් සිදුකල බවටත් මහාවංශයේ සදහන් ය.

දීපවංශයේ සදහන් වන්නේ බුදුන් වහන්සේ දෙ වන වර ලක් දිවට වැඩම කර යකුන් ගිරි දිවයිනට පලවා හැරීමෙන් අනතුරුව ඔවුන් තම භූමිය ගැන තුටින් උත්සව පැවැත් වූ බවත් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම වූ අවස්ථාවේ දෙවි, යක්ෂ හා නාග යන පිරිස් නටමින් ගයමින් සතුටු වූ බවත් ය. දුමින්දාගමනයත් සමග කුල 18ක පිරිස් මෙරටට පැමිනි බවත් ඒ අතර අතොජ්ජ පාදක හෙවත් බෙරවා කුලය ද පැමිණි බවත් බෝධිවංශයේ සදහන් ය. කුරුදම්ම ජාතකයේදී ධනංජය රජු වසර 3කට වරක් පැවැත්වූ කාර්තික නම් කාමෝත්සවයක් ගැන තොරතුරු පවතී. ක‍්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට හදුනාගත හැකි පූර්ව බ‍්‍රාහ්මී ශිලාලිපි අධ්‍යයනයෙන් නර්ථන ශිල්පීන් පිළිබදව තොරතුරු අනාවරණය කර ගත හැකි ය. මැදගම, සැස්සේරුව හා කොරවක්ගල යන ස්ථානවල වූ ශිලාලිපි වලින් නර්ථන ශිල්පීන් පිළිබඳ ව දැක්වෙන අතර එහි දී නට සහ නඩ යන නමින් ඔවුන් හදුන්වා තිබේ.

ඉහතින් දැක් වූ සාහිත්‍ය සාදක වලින් අනාවරණය වන්නේ් අනුරාධපුර යුගයේ දී නර්තන, සංගීත වලින් යුත් විවිධ උත්සව පැවති බව ය. එකී තොරතුරු සාහිත්‍යට පමනක් සීමා නොවී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් වාමන රූ ආශ‍්‍රයෙන් තව දුරටත් මෙසේ සනාථ කළ හැකි ය. සතර අභිනයෙන් ආංගික අභිනයට අයන් වන්නේ අංගචලනය යි. එනම් හිස, අත්, පාද ආදී අංගයන් උපයෝගයෙනුත්, කර, පිට, බඩ ආදී ප‍්‍රත්‍යාංග උපයෝගයෙනුත් නෙත්, කම්මුල්, නාසය සහ තොල් ආදී උපාංග භාවිතයෙනුත් සිදුකරන තාලාණුරූප හැසිරීම යි. මෙවන් තාලාණුරූප හැසිරීම් නිරූපිත වන ලෙස නෙලා තිබෙන්නා වූ වාමණ රූ අනුරාධපුර පූජා නගරයේ වන පැරණි ඉදිකිරීම් වල වූ කුළුණු හිස් තුළින් හඳුනාගත හැකි ය. මෙකී නිමැවුම් තුළින් පතාක සහ ඩෝල හස්ත හෙවත් ගජ හස්ත මුද්‍රා (නර්තනයේ දී අත උපයෝගයෙන් දක්වන්නා වූ ඉරියව්) හදුනා ගත හැකි ය. කුළුණුහිස් වල නෙලා තිබෙන්නා වූ වාමණ රූ නිර්මානයේ දී පොදු ආකෘතියක් යොදාගෙන තිබේ. එහි දී නර්තනයේ යෙදෙන විලාසයෙන් වන එක් වාමණයෙක් මැදි වන සේ ඔහුට දෙ පසින් විවිධ වාද්‍ය භාණ්ඩ හසුරුවන්නා වූ වාමණයන් පේලි දෙකක් ආකාරයෙන් නිමවා තිබීමයි. වාද්‍ය භාණ්ඩ හසුරුවන්නා වූ වාමණයන් ගේ වාද්‍ය භාණ්ඩ සහ ඔවුන් සිටින ඉරියවුවලින් පමණක් යම් යම් නිර්මිතයන් ගතික භාවයක් පෙන්නුම් කළ ද එය ද හදුනාගත හැක්කේ අල්ප වශයෙනි. නර්තනයේ යෙදෙන විලාසයක් පෙන්වන්නා වූ වාමනයාගේ හිස් පලඳනාව උඩරට නර්ථන සම්ප‍්‍රදායේ එන වෙස් ඇදුමේ සිකාඛන්ඩයට බෙහෙවින්ම සමාන වීම, නර්තනයේ ආරම්භක ඉරියවුව වන මැණ්ඩිය ආකාරයෙන් සිටීම සහ කන කර සහ දෙ අත් වල වූ පළදනාවන් යන සාධක මත ඔහු නැට්ටුවෙක්ම විය යුතු බව නිගමණය කළ හැකි ය. එහෙත් ඔහුගේ දෙ අත් දෙ දනට තබා සිටී. වාද්‍ය භාණ්ඩ හසුරුවන්නා වූ දෙ පස සිටින වාමණයන් ආතත (අතින් පමනක් හසුරුවන), විතත (අවශ්‍ය පරදි සැකසූ කෝටුවකින් හසුරුවන), විතතාතත (අතින් සහ කෝටුවෙන් හසුරුවන), ඝනය (ලෝහමය ද්‍රව්‍යයෙන් සැකසූ) සහ සුසීරය (මුඛයෙන් සුළං පිට කිරීමෙන්) යන පස්විධ තූර්යයන් ම හසුරවන්නේ නර්තනයේ යෙදෙමින් බව ඔවුන්ගේ අත් සහ පාද වල ඉරියවුවලින් පැහැදිලි වේ. උඩරට පහතරට සහ සබරගමු යන සම්ප‍්‍රදා තුනේ දී භාවිත කරන ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩයන් වන ගැටබෙරය යක්බෙරය සහ දවුල අතැතිව නිමවා තිබීමෙන් පැහැදිලි වන්නේ අතීතයේ දී වර්ථමානයේ මෙන් ගුරුකුලයන්ට සහ ඒ ඒ සම්ප‍්‍රදායන්ට සීමා වීමක් සහ බෙදීමක් නොමැතිව සංගීතය හා නර්තනය පිළිබඳ ව විවිධ සම්ප‍්‍රදායන්ගේ දැණුමක් හැකියාවක් පැවති පිරිසක් සමාජයේ සිටි බවයි. 7 වන සියවසේ ටැනන්ගේ ලංකා විස්තරයේ ‘රන් කැටයම් කළ තූර්ය භාණ්ඩ ගත් නා නා විද විජ්ජාකාරයන්….. ’ ආදී ලෙස කර ඇති විස්තරයෙන් ද සනාත වන්නේ විවිධ සම්ප‍්‍රදායන්ගේ හැකියාවන් සහ දැණුම පැවති පිරිස් සිටි බව ය.

වාමන රූ බොහෝමයක් නිමවා තිබීම හදුනාගත හැක්කේ ස්තූප වට දා ගෙවල්, පොහොය ගෙවල් ආදී වූ සංඝයා වහන්සේලා පරිහරණය කළ සහ වතාවත් කළ බෞද්ධාගමික ඉදිකිරීම් ආශ‍්‍රයෙන්ය. ‘නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරන මණ්ඩල’ යන සිල් පදයෙන් භික්ෂුව පාලනයට ලක් කරමින් හික්මවා ලූ සමාජයක සංඝයාවහන්සේලාට සංගීතය නර්තනය කැප නොවීය. එසේ නම්, මෙවන් නිර්මාණයන් ආගමික ස්ථානයන් වල දී නිම කලේ කුමක් අරභයා විය යුතු ද යන පැනය යමකුගේ සිතේ ඉස්මතු වීය හැකි ය. බෞද්ධාගමික ඉදිකිරීම් ආශ‍්‍රයෙන් නිමවීම මත එවකට පැවතුනා වූ ආගමික උත්සව පිළිබඳ ව ප‍්‍රබල සාධකයක් සපයා ගත හැකි වේ. එනම් තේවාවන්, පෙළහරවල් හෝ වෙනත් ආගමික උත්සව පිළිබඳ ව ය. මයිලගස්තොටින් හමු වූ 10 වන සියවසට අයත් අභිලේඛනයකට අනුව ධාතු පෙරහැරවල් වල දී සංගීත ප‍්‍රසංග පැවති බවටත් දහම මුල් කරගත් උත්සව සහ තේවාවන් පවත්වා පුදපූජා කරීමට රාජ නියෝග පවා නිකුත් කළ බවටත් තොරතුරු පවතී. දේවානම්පියතිස්ස රජු තාලාවචාරා ලෙසින් තූර්යවාදන කණ්ඩායමක් පවා තබාගත් බවටත් රජවරුන් විසින් කළ ආගමික පුජා වල දී තූර්යවාදන කණ්ඩායම් යොදාගත් බවටත් සාහිත්‍යයේ ඇති සාදක වලින් සනාත කරගත හැකි ය. එ් අනුව, පූජණීය ස්ථානයන් ආශ‍්‍රයෙන් උත්සව පවත්වා ඇති බවත් එ්වාට රාජ්‍ය අනුග‍්‍රහය ද මහත් සේ ලැබීම යන හේතූන් නිසාත් මෙකී නිර්මාණයන් බෞද්ධාගමික ස්ථාන ආශ‍්‍රයෙන් ස්ථාපිත කල බවට නිගමණය කළ හැකි ය. වර්තමානයේ දී ත් අනුරාධපුර ශ‍්‍රී මහාබෝධිය, රුවන්වැලි සෑය, ජේතවනය, අභයගිරිය යන පූජණීය, බෞද්ධාගමික ස්ථාන ආශ‍්‍රයෙන් තේවාවන් පවත්වා පුදපූජා (හේවිසි ගැසීම) සිදු කිරීම සහ පෙරහැර මංගල්‍යය පැවැත්වීම හදුනාගත හැකි ය.

--------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
--------------------------------------------------------------------------------

පිටපත්වලින් පමණක් දැකගත හැකි මහඋඩුව, සිරි සුනන්දාරාමයේ සිතුවම්

ඩබ්. එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව ගාල්ල.

ප‍්‍රවිෂ්ඨය

රුක්‍ෂාන් ප‍්‍රියන්දන

ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වූ සියලු ම වෙහෙරවිහාරස්ථාන කැටයමින් මෙන් ම සිතුවමින් අලංකාර කිරීම අතීතයේ මෙන් ම වර්තමානයේ ද සාමාන්‍ය ක‍්‍රියාවලියකි. මෙ සේ නිර්මාණය කළා වූ කෘති කාලයත් සමග නවීකරණය වෙමින් ද ජරාජීර්ණ වූ විට ප‍්‍රතිසංස්කරණය කරමින් ද පැවත එන්නට විය. සිතුවමින් අලංකාර කළා වූ විහාර මන්දිර කාලයත් සමඟ විනාශ වන විට දී පැරණි සිතුවම් ඉවත් කර නැවතත් තත්කාලීන සමාජ පරිසරය තුළ හිඳිමින් සිතුවම් නිර්මාණය කළහ. සමාජ, ආර්ථීක මෙන් ම දේශපාලනික හේතු සාදක ද මේ සඳහා බලපා තිබේ. 1953 අපේ‍්‍රල් මස 23 දිනමිණ පුවත්පතෙහි ලිපියක් පලකරමින් මහ උඩුව පැරණි විහාර මන්දිරයේ ඇති සිතුවම් පිළිබඳ ව ඇස්.පී. චාල්ස් මහතා අදහස් දක්වා තිබේ. වර්තමානය වන විට කුඩා දරුවන් ගේ නියපොත්තත් ස්වභාව ධර්මයේ තර්ජනයටත් ලක්වෙමින් හුණු බදාම ගැලවී යාමේ තර්ජනයට ලක් ව ඇති බවත් ඉදිකෙරෙමින් පවතින නව විහාර මන්දිරය හේතුවෙන් පැරණි විහාර මන්දිරයට තිබෙන අවධානය නැති වී ඇතැයි ඔහු එහි දී දක්වයි. (චාර්ල්ස් 1953) මෙ ලෙස කිසිවෙකු ගේ අවධානය යොමු නොවූ උක්ත පැරණි විහාර මන්දිරය 1970 දශකයේ දී කඩා ඉවත් කරන ලද බව විහාරාධිපති හිමියන් සඳහන් කරන ලදහ. නව විහාර මන්දිරය විවෘත කර තිබෙන්නේ ද මෙකී කාල පරාසය තුළ වීම හා නව විහාර මන්දිරය ඉදිරියේ පැරණි විහාර මන්දිරය පිහිටි හෙයින් ද එ සේ කි‍්‍රයා කරන්නට ඇත. මෙකී විහාරස්ත සිතුවම් හී පිටපත් කිහිපයක් අපට හමුවීම තුළ ඒ පිළිබඳ විග‍්‍රහයක් මෙහි දී ඉදිරිපත් කෙරේ.

අන්තර්ගතය

මහ උඩුව විහාරය කළුතර දිස්ත‍්‍රිකයේ හොරණ ප‍්‍රදේශීයසභා බල ප්‍රදේශයේ පිහිටා ඇත. හොරණ – පානදුර මාර්ගයේ විද්‍යාරතන හන්දියෙන් හැරී දිවෙන පාදුක්ක මාර්ගය ඔස්සේ ගමන් කර කනන්විල හන්දියෙන් හැරී කුඩා උඩුව මාර්ගයේ ගමන්කර මහ උඩුවට ලඟා විය හැකි වේ. විහාරය 614 බී උඩුව ග‍්‍රාමනිළධාරී වසමේ පිහිටයි. උඩුව යන ග‍්‍රාම නාමය පිළිබඳ ව ජනප‍්‍රවාදයේ එන්නේ උඩ වැව, උඩුව වූ බවයි. වර්තමානයේ ද උඩුව ප‍්‍රදේශයේ වැවේ බැම්මක නෂ්ඨාවශේෂ පවතී. විහාර භූමිය පැරණි චෛත්‍ය, නව විහාර මන්දිරය හා පැරණි දම්සභා මණ්ඩපයකින් සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයකි. වර්තමාන විහාරාධිපති ධූරය හොබවන්නේ පූජ්‍ය උඩුවෙ විමලකිත්ති නාහිමියන් ය. විහාරස්ථානය 19 වන සියවසේ මැද භාගයේ ආරම්භ කරන්නට ඇතැයි අනුමාන කල හැකි වේ. විහාරස්ථානයේ ආරම්භක හිමියන් ලෙස කටයුතු කර තිබෙන්නේ උඩුවෙ රේවත හිමි ය. උන්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ වේරවත්ත පරම්පරාවෙන් පැවත එයි.

පේ‍්‍රමරත්න වනිගතුංග

ඇස්.පී. චාර්ල්ස් මහතා උඩුව විහාරස්ථානයේ ඇති සිතුවම් පිළිබඳ ව එහි ඇති වටිනාකමත් එය අනාගත පරපුරට දායාද කළ යුතුයැයි ද අවධාරණය කර තිබේ. තව ද විහාර සිතුවම් විනාශව යාමට මත්තෙන් පිටපත් කර ආරක්‍ෂා කිරීමේ වටිනාකම පිළිබඳ ව ද පෙන්වා දී ඇත. ඇස්.පී. චාර්ල්ස් මහතා ගේ ශිෂයකු වූ පේ‍්‍රමරත්න වනිගතුංග මහතා එම කාර්ය පිළිබඳ ව අවබෝධ කර ගනිමින් විහාර සිතුවම් පිටපත් කරන්නට විය. හොරණ හඳපාන්ගොඩ ප‍්‍රදේශයේ ජීවත් වූ මොහු දක්‍ෂ චිත‍්‍ර ශිල්පියෙක් විය. ශ‍්‍රී ලංකාවේ චිත‍්‍ර කර්මාන්තයට කරනු ලැබුවා වූ සේවය වෙනුවෙන් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ මෙ තුමා කැලණිය විශ්ව විද්‍යාලයේ සෞදර්ය අධ්‍යනාංශයේ චිත‍්‍ර හා මූර්ති අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළහ. තම ගුරුවරයාගෙන් ලැබුනා වූ උපදෙස් මත ඔහු මෙම කාර්යය සඳහා දායකවන්ට ඇතැයි සිතිය හැකි වේ. පේ‍්‍රමරත්න වනිගතුංග මහතා අවුරුදු 71 ආයු වළදා 1995 දී වියෝ වූවත් ඔහු විසින් පිටපත්කර ගන්නා වූ විහාර බිතුසිතුවම් ඔහු ගේ නිවසේ සුරක්‍ෂිත ව පවතී. ඉංගිරිය කොළඹ මාර්ගයේ හඳපාන්ගොඩ හන්දිය ආසන්නයේ ම ඔහු ජීවත් වූ නිවස පිහිටයි.

උඩුව විහාර මන්දිරයේ දළ සැලැස්ම

වනිගතුංග මහතා විසින් විහාර සිතුවම් tracing paper එකකට ගෙන පසුව වෙනම ඇඳ දියසායම් මාධ්‍යයෙන් සිතුවම වර්ණයට නගන ලදී. ඔහු විසින් නිර්මාණය කරන ලද්දා වූ මෙහි මුල් පිටපත් ද තවමත් සුරක්‍ෂිත ය. උඩුව විහාරයේ ප‍්‍රධාන කොට ජාතක කතා තුනක් මොහු පිටපත්කර වර්ණ ගන්වනු ලැබ තිබේ. විහාර මන්දිරයේ නිරූපණය කරනු ලැබ තිබූ ප‍්‍රමාණයෙන්ම ඇඳ වර්ණ ගන්වා තිබෙනුයේ මහා කණ්හ ජාතකය පමණි. මණිචෝර හා චුල්ල ධර්මපාල යන ජාතක කතා ප‍්‍රමාණයෙන් කුඩා කර ඇද තිබේ. ඔහු එම පිටතපත්හී ඒ පිළිබඳ ව සඳහන් කරයි. උඩුව විහාර මන්දිරයේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම පිළිබඳ ව චාර්ල්ස් මහතා දක්වයි. එ පරිදි විහාර මන්දිරය වටා පිට මාලයක්ද ගර්භ ගෘහයක් ද වූ බවත් පිට මාලය වටා සිතුවම් නිර්මාණය කරන ලද බව දක්වයි. උඩුව ප‍්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙක් වන ආනන්ද වනිගතුංග මහතා අපහට එහි සැලැස්ම පිළිබඳ ව ඔහුගේ මතකය අවධි කළේ ය. ඔහු දක්වන ආකාරයට විහාර මන්දිරය දොරටු මණ්ඩපයකින්, පිටමාලයකින් හා ගර්භ ගෘහයකින් සමන්විත ය. ගර්භය තුළ හිදි බුද්ධ ප‍්‍රතිමාවක් වැඩසිටි බවත් ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව දෙපස සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා ගේ ප‍්‍රතිමා වූ බව පැවසූහ. තව ද පිට මාලය වටා කොට තාප්පයක් ද ඒ මත වෘත්තාකාර වූ කණු හී පිටමාලයේ වහල ද විය. ගර්භයට ද වෙනම ම වහලයක් ද ලෙස වහලයන් දෙකකින් විහාර මන්දිරය සමන්විත වූවා යැයි සඳහන් කරන ලදහ.

පිටමාලයේ සිතුවම් ප‍්‍රධාන ලෙස තීරු දෙකක් ඔස්සේ සිතුවම් කර තිබෙන බවත් එහි ඉහල තිරුවේ සූවිසි විවරණයත් පහල තීරුවේ ජාතක කතා නිර්මාණය කර ඇති බව චාර්ල්ස් මහතා දක්වයි (චාර්ල්ස්, 1953). අප විසින් සොයාගන්නා ලද තොරතුරු හා චාර්ල්ස් මහතා විසින් දක්වන ලද තොරතුරු හා සමාන විහාර මන්දිරයක් පොකුණුවිට, කිත්සිරිමෙවන් රජමහා විහාරයේ දැකිය හැකි වේ. එහි පිට මාලයක් හා ගර්භ ගෘහයකින් සමන්විත වූව ද දොරටු මණ්ඩපයක් දක්නට නොලැබේ. නමුත් මෙහි ද සිතුවම් පිට මාලයේ නිරූපිත අතර තීරු දෙකකින් යුක්ත ය. ඉහල ම තීරුවේ සූවිසි විවරණය හා පහල තීරුව මත ජාතක කතා නිරූපිත ය. පේ‍්‍රමරත්න වනිගතුංග මහතා විසින් පිටපත් කරන්නට යෙදුන මුල් පිටපතේ දැක්වෙන පරිදි සිතුවම් නිර්මිත තීරයක පළල වන්නේ සෙන්ටිමීර් 86කි. ඔහු විසින් විහාර බිත්තිය මතින් කොපි කර ගත්තා වූ මුල් පිටපත් සියල්ලම එක ම පළලකින් යුක්ත වේ. පිටපත් කර වර්ණ ගන්වා ප‍්‍රතිනිර්මාණය කළ මහා කණ්හ ජාතක කතා වස්තුව ඇතුළු සිතුවම අඛණ්ඩ ව ගලායන ආකාරයට එක කොළයක බිත්තියේ නිර්මාණය කර තිබුනා වූ දිග හා පළල එ ලෙස ම යොදා ගනිමින් නිර්මාණය කර ඇත. ඒ අනුව උඩුව විහාර ගර්භ ගෘහයේ පළල පිට පැත්තෙන් මැන බැලූව හොත් මීටර් 5.35 ලෙස වේ. මෙය චුල්ල ධර්මපාල හා මනිචෝර යන ජාතක කතාවන්හී මුල් පිටපත්හී දිගට ද සමාන ය. ඒ අනුව විනාශයට පත් වූ උඩුව පැරණි විහාර ගර්භ ගෘහය සමචතුරඝ‍්‍රාකාර බවත් එහි පිට මාලයෙන් මැන බැලුවහොත් එක් පැත්තක දිග මීටර් 5.35 ලෙස ගණනය කළ හැකි වේ.

විහාර සිතුවම් මීට වසර 75 පමණ පෙර නිර්මාණය කරන ලද බව චාර්ල්ස් මහතා ප‍්‍රකාශ කරයි. එම ප‍්‍රකාශය කරනු ලබන්නේ 1953 දී ය. අද සමඟ සංසන්දනය කරනු ලැබුවහොත් අදින් වසර 134 පමණ පෙර දී ය. එනම් 1878 දී ය. පිටමාලයේ පිටුපස බිත්තියේ නිරූපිත යැයි සැලකෙන්නා වූ චුල්ල ධර්මපාල ජාතකය පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ඔහු සපයා තිබේ. පිටමාලයේ දකුණු පස හා වම්පස පහල තීරු හී කුමන සිද්ධියක් නිරූපණය කළා දැයි නොපවසයි. මෙහි දී චාර්ල්ස් මහතා හට එක් වැරදීමක් වී තිබේ. ඔහු දක්වන්නේ මහා ධර්මපාල ජාතකය මෙහි සිතුවම් කලර තිබූ බවයි. නමුත් ඔහු විස්තර සපයන්නේ චුල්ල ධර්මපාල ජාතකයයි. ඔහු විසින් පිටපත් කල සිතුවමක් ද දිනමිණ පුවත්පතට ඇතුළු කර තිබෙන අතර එය චුල්ල ධර්මපාල ජාතකයයි. එම පිටපත හා වනිගතුංග මහතා කළ පිටපත සමාන ය. වනිගතුංග මහතා විසින් පිටපත්කරන ලද සිතුවම් අතර මොහු විසින් සඳහන් කරන ලද චුල්ල ධර්මපාල ජාතකය මෙන් ම මනිචෝර හා මහා ඛන්හ ජාතකකතා ඇතුළු වේ. එනම් චාර්ල්ස් මහතා සඳහන් නො කරන ලද අනෙක් ජාතක කතා දෙක වන්නේ මනිචෝර හා මහා ඛන්හ ජාතක කතා ය. ශිල්පියා විසින් පිටමාලයේ එක් බිත්තියක එක් ජාතක කතාව බැගින් ජාතක කතා තුනක් නිර්මාණය කරන්නට ඇතැයි අපට හැගේ.

චුල්ල ධර්මපාල ජාතකය ආරම්භ වන්නේ පිටමාලයේ පසුපස බිත්තියේ දකුණු කෙලවරින් බව චාර්ල්ස් මහතා දක්වයි. උඩරට ප‍්‍රදේශයෙන් බැහැර ව නිර්මාණය වූ බොහෝ විහාරස්ථානයන්හි ඉතා සුලභ ව දැකිය හැකි ජාතක කතාවක් ලෙස චුල්ල ධර්මපාල ජාතකය හඳුන්වාදිය හැකි වේ (පේ‍්‍රමතිලක 1987, 570-571). මෙ ලොව දී ම විපාක දෙන අකුසල කර්ම පිළිබඳ ව ජනතාවට අවබෝධයක් ලබාදීමත් පාප කර්මයන්ගෙන් ජනතාව ඈත් කිරිම අරමුණු කොට චුල්ල ධර්මපාල ජාතකය සිත්තම් කරන්නට ඇත. අප යම් පාපයක් කළ විට මෙ ලොව දී ම එහි ප‍්‍රතිඵල අත්වන බවත් එමනිසා පවට බිය විය යුතු ය යන මතය ජනතාව ට ගෙනයාමට ශිල්පීන් මෙවැනි ජාතක කතාවන් යොදා ගත්හ. විහාරයේ සිතුවම්හී සිද්ධීන් 5කින් ජාතක කතා වස්තුව දිග හැරේ.

ජාතක කතාව ආරම්භ වන්නේ රජු හා බිසව ඉතා සතුටින් කල් ගෙවන ආකාරය දැක්වෙන සිතුවමින් බව චාර්ල්ස් මහතා පවසයි. නමුත් වනිගතුංග මහතා ගේ පිටපතේ චුල්ල ධර්මපාල ජාතකය ආරම්භ වන්නේ දේවිය හා වෙනත් කාන්තාවක් සංවාදයේ යෙදෙන ආකාරය දැක්වෙන සිතුවමිනි. මහා ප‍්‍රතාප රජු ගේ මාළිගය එහි දැක් වේ. ශෝකයෙන් සිටින චන්ද්‍ර දේවිය සනසාලන්නට සේවිකාවක් උත්සාහ දරන ආකාරය නිරූපිත ය. ඔවුන් සිටිනුයේ දෙමහල් මහලක පහළ කොටසේ ය. එම මන්දිරය ඉදිරියේ රජු හා තවත් පුද්ගලයෙක් සංවාදයකි. ඔහු ප‍්‍රභූවරයෙක් යැයි අනුමාන කළහැක්කේ පැළඳ සිටින හිස් වැසුමෙන් ය. මාළිගාව මත වහලය මත විශාල ප‍්‍රමාණයේ පක්‍ෂියෙකි. ශිල්පියා එම ස්ථානයේ වන හිස් අවකාශය ඉවත් කර ගැනිීම උදෙසා මෙවන් උපක‍්‍රමයක් භාවිත කරන්නට ඇත. (ඵලක 3) චාර්ල්ස් මහතා පවසන ලද පරිදි සිතුවම් ආරම්භ වන්නේ රජු හා බිසව සතුටින් කල් ගතකරන ආකාරයෙන් ය යන්න පැවසීම වැරදීමකින් සිදුවන්නට ඇත. චාර්ල්ස් මහතා විසින් සපයන ලද ලිපියේ චුල්ල ධර්මපාල ජාතකය දක්වන ලද සිතුවම් පිටපත් කොටස හා වනිගතුංග මහතා විසින් පිටපත් කරන ලද පිටපත් එක ම සිදුවීම් බැවින් ඒ කරුණ සනාථ වේ.

චුල්ල ධර්මපාල ජාතකයේ අනතුරු ව නිරූපනය වන්නේ රජු ඇතු පිට නැගී පෙරහැරින් දේවිය බැලීමට යන අවස්ථාවයි. සේසත් කොඩි පෙරටු කොටගත් පෙරහැරින් ගමන් ගන්නා රජුගේ වමත කඩුවකි. පෙරහැර ඉදිරියෙන් පුද්ගලයින් දෙදෙනෙක් තම්මැට්ටමක් හා මද්දලක් වාදනය කරයි. එම පුද්ගලයින් දෙදෙනා ජටා බැඳ සිටින අතර මුහුණ පුරා දැඩි රැවුලකි. ඔවුන්ගේ ශරීරය වර්ණ ගන්වා ඇත්තේ දුඹුරු පැහැයෙන් ය. ශිල්පියා ඔවුන් දෙදෙනා දුඹුරු පැහැයෙන් වර්ණ ගැන්වීම සිතාමතා කළ බව පැහැදිලි වන්නේ සේසත් හා කොඩි ගෙනයන පුද්ගල රූ කහ වර්ණයෙන් නිමවීම ය. උඩරට ප‍්‍රදේශ වල මෙන් ම පහතරට ප‍්‍රදේශයන්හී ඉතා දැඩි ලෙස කුල ධූරාවලිය දක්නට තිබුනි. එහිදී බෙර වාදනය කරන්නන් වෙනම ම කුලයකට අයත් වූ අතර ඔවුන් පහත් කුල ඇත්තන් සේ සලකන ලදී. බෙරවා, ගණිත, ඔලී බෙරවයන කුලයන් ලෙස සලකන ලදී (සිල්වා, 1997: 30). පහතරට විහාරස්ථානයන්හී සමාජ විරෝධී කි‍්‍රයා සිදුකරන දුශ්චරිත පුද්ගලයින් සඳහා භාවිත කරන ලද වර්ණය වූයේ දුඹුරු වර්ණයයි. උඩුව විහාරයේ කුලය පදනම් කර ගනිමින් මෙසේ අන් අයගෙන් වෙන්කර දැක්වීම සඳහා දුඹුරු වර්ණය භාවිත කරන්නට ඇත.

අනතුරු ව ශිල්පියා දේවිය දරුවාට කිරි පොවන ආකාරය දක්වයි. එතනට පැමිණෙන රජු එක් ඇඟිල්ලක් දිගුකර තමාගේ නොසතුට ප‍්‍රකාශ කරන අතර බෝසත් කුමරා ඇකයේ කිරි බොමින් සිටින විට වධකයා අනෙක් පසින් පැමිණ කුමරුගේ හිසින් අල්ලා උදුරා ගනී. බිසවගෙන් තමන්ට ලැබුණු ගරු සැලකිල්ල පමණක් නොව ආදරය පවා අහිමි වීම තුළ ඊර්ෂ්‍යාවට හා දැඩි කෝපයට පත් රජු ගේ ආඥව මත මෙසේ වධකයා ඇකයේ කිරි බොමින් සිටින කුඩා දරුවා උදුරා ගනී. රාජ නියෝගයෙන් බිසව සිටින මාළිඟයේ ඉහල සිටින පුද්ගලයින් ශෝකයට පත් වේ. (ඵලක 4) මෙම සිතුවම නරඹන පේ‍්‍රක්ෂකයා ගේ සිතේ භීතිය මෙන් ම නෙතට කඳුලක් ගෙනෙන දර්ශනයක් ය. වධකයා දකුණු අතින් පොරවක් ද වම් අතින් දරුවා ගේ දෙපයින් ද ඔසවාගෙන රැගෙන යන අතර පසුව වධකයා කුමරු ගේ ශරීරයේ අවයව එකිනෙක සංසිඳවාලයි. මෙහි වධකයා ගේ අත වන්නේ කඩුවකි. පසෙක දේවිය බිම වැතිරී හඬන අතර ඇය ගේ හිසකෙස් අවුල් ව ගිය ආකාරය දැක්වීම තුළින් ඇය දැඩි සේ ශෝකයට පත් ව සිටින ආකාරය රසිකයා ගේ සිතට දනවයි. දේවිය පසුපස සේවිකාවක් දේවිය ගේ උරහිස අල්ලා සිටී.

ඵලක 4 – චාර්ල්ස් හා වනිගතුංග මහත්වරුන් විසින් සකස් කළ චුල්ල ධර්මපාල ජාතකයේ පිටපත් (උඩුව විහාරය)

රජු ගේ ඇඟ ගිණිදැල් පැමිණ වෙළාගන්නා ආකාරය මෙන් ම අපායට ගෙනගොස් යමපල්ලන් රජු බිම දමා වද දෙන ආකාරය ගිනිදැල් අතරින් පෙනෙන සේ සිත්තරා චිත‍්‍රනය කරයි. මෙම මිලේච්ඡ් කි‍්‍රයාව හමුවේ නරඹන්නාගේ සිතේ ඇති වු ක්‍රෝධය මත හැඟෙන්නේ රජුට අත් වූ ඉරණම අනුමත කරන්නක් ලෙස ය. තමන් එය අනුමත කරන්නේ නම් තමන් ද පව් වලින් ඈත්විය යුතු ය යන සිතුවිල්ල මනෝවිද්‍යාත්මක ව ජනයා ගේ සිතට ඇතුළු කිරීමට තරම් උඩුව විහාර දිස්ත‍්‍රික්කයේ සිත්තරා ඥනවන්ත වී තිබේ. වනිගතුංග මහතා සිතුවම් පිටපත් කර නැවත වර්ණ ගැන්වීමේ දී බිත්තියේ සිතුවම් විනාශ වූ ස්ථාන කෙරේ අවධානය යොමු නොකර සම්පූර්ණ චිත‍්‍රය ම කොටස් පුරවා වර්ණ ගන්වයි.

උඩුව විහාරයේ පිටපත් අතර දක්නට ලැබෙන අනෙක් ජාතක කතා වස්තුව වන්නේ මනිචෝර ජාතකයයි. පහතරට සිත්තරුන් ගේ අවධානය දිනාගත්තා වූ තවත් ජනප‍්‍රිය ජාතකයක ලෙස මෙය හැදින් විය හැකි වේ. පතිවෘත්තාව ආරක්‍ෂාකිරීමේ බලයෙන් සත්‍ය ජයගන්නා ආකාරය ජාතක කතාවෙන් ගත හැකි ආදර්ශයයි (පේ‍්‍රමතිලක, 1987:334). බටහිර ආගමනයත් සමඟ සංකර වූ සමාජ සිරිත්විරිත් ප‍්‍රකෘතිමත් කිරීමට මෙවැනි ජාතක කතා ශිල්පීන් පාදක කර ගත්හ. විහාර සිතුවම් සඳහා ඔවුන් නිතර ම යොදාගත්තේ සමාජයට යම් ආදර්ශයක් මෙන් ම යම් පණිවුඩයක් ගෙනයාහැකි ජාතක කතා ය.

ජාතක කතාව ආරම්භ වන්නනේ රජු ගේ මාළිගාව දක්වන සිත්තමකිනි. මාලිගයේ දකුණු පස මුර සෙබලෙකි. කළු පැහැ ඇඳුමකින් සැරසී සිටින ඔහු ගේ වමත හෙල්ලකි. ඇඳ සිටින්නා වූ ඇඳුම යුරෝපීය සොල්දාදුවෙකුගේ ඇඳුමකට සමාන වේ. මාළිගයේ කාන්තාවන් දෙදෙනෙක් සාකච්ඡාවේ නිරතවන අතර රජු හා ප‍්‍රභූවරුන් දෙදෙනෙක් යම් සාකච්ඡාවක නිරත වන ආකාරය දිස් වේ. මාළිගයේ කණු දෙකක්මත වන විදුලි පහන් ලන්තෑරුමකට සමාන ය. අනතුරු ව රජු වීදි සංචාරය කරන අයුරු දක්වන්නා වූ සිතුවමක් ය. සේසත් හා කොඩි පෙරටු කොට ගත්තා වූ රජු ඇතකු පිට නැගී ගමන් කරයි. රජු ඉදිරියේ රථයක නැගී බෝසතාණන් සමඟ සුජාතාව පැමිණේ. ඔවුන් දෙදෙනා පැමිණෙන්නා වූ රථය තරමක් කුඩා ය. එහි දක්වන ලද අශ්වයා ද බෙහෙවින් කුඩාව සිත්තම් කරයි. ශිල්පියා එහි දී පරිමාණානුකූලත්වය කෙරෙහි සැළකිලිමත් ව නොමැත.

ජාතක කතාවට අනුව සුජාතාව දකින රජු ඇය කෙරේ ආලයක් උපදී. රජු ඇය පිළිබඳ ව සොයා බැලීමට ඇමතිවරයෙකුට භාරදෙනු ලබයි. සුජාතාව විවාහ වී සිටින්නා වූ කාන්තාවක් බව දැනගත් රජු කෙසේ හෝ ඇය ලබා ගැනීමට කල්පනා කරයි. ඒ අනුව ස්වාමි පුරුෂයා මැරීමට උපායක් යොදනු ලබයි. එහි දී රජුගේ චූඩාමාණික්‍ය බෝසතානන් ගමන් ගන්නා රථයේ සඟවා ඔහු සොරෙකු සේ බොරු චෝදනා කර මරා දැමීම උපායයි. බෝසතානන් ගේ රථයේ මාණික්‍ය සඟවාලන පුද්ගලයා ශිල්පියා ඇඳ තිබෙනුයේ දුඹුරු පැහැ වර්ණයෙන් ය. ඔහු ද මෙම අසත්පුරුෂ ක‍්‍රියාවට සම්බන්ධ වීම හේතුකර ගනිමින් මෙසේ චිත‍්‍රනය කරන්නට ඇත. (ඵලක 5).

ඵලක 5 – මනිචෝර ජාතකය උඩුව විහාරය

රජු ගේ චූඩා මාණික්‍ය සොරකම් කලායැයි චෝදනා එල්ල වූ බෝසතානන් වහන්සේ දෙ අත් බැඳ රජු ඉදිරියට පමුණුවන දර්ශනය අනතුරු ව වේ. රජු එහිදී බෝසතානන් වහන්සේ මරා දැමීමට නියෝග කරයි. මෙහි රජු සිටින්නාවූ මාළිගයේ දකුණු පසට වන්නට මුරකරුවෙකි. මොහු ද ඇඳ සිටින්නේ කළු පැහැ ඇඳුමක් වන අතර අතෙහි තුවක්කුවක් දරා සිටී. රාජ අණින් මරණ දණ්ඩනයට ලක් වූ තම ස්වාමියා පිළිබඳ ව ඇතිවූ දුකින් හඩා වැටෙන්නා වූ සුජාතාව අනතුරු ව දැකිය හැකි වේ. ඇය එහි දී අධිෂ්ඨානයක් කරනු ලබයි. මාගේ පතිවෘතතාවේ බලයෙන් මා ගේ ස්වාමියාට බේරා දෙන ලෙසිනි. ඇය ගේ අධිෂ්ඨානය හේතුවෙන් පැමිණෙන ශක‍්‍ර දේවේන්ද්‍රයා ආකාශයේ දැක් වේ. අත් සතරකින් යුත් ඔහුගේ එක් අතක සංඛයකි. අනතුරු ව ශක‍්‍රයා ඇතා මත සිටින්නා වූ රජු දංගෙඩිය මත තබා මරණයට පත් කරනු ලබන අතර මරණ දණ්ඩනය නියම වූ බෝසතානන් වහන්සේ ඇතු පිට නංවා රාජ්‍යත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. උඩුව විහාර සිත්තරා මෙම දිර්ඝ ජාතක කතා වස්තුව ඉතා කෙටියෙන් පේ‍්‍රක්‍ෂකයා හට තේරුම්ගත හැකිවන පරිදි මනා කොට නිරූපණය කරනු ලැබ ඇත.

6 – මහා කණ්හ ජාතකය උඩුව විහාරය

උඩුව විහාර සිතුවම් පිටපත් අතර දක්නට ලැබෙන තෙවන ජාතක කතා වස්තුව වන්නේ මහා කණ්හ ජාතකයයි. වනිගතුංග මහතා මෙම ජාතක කතා වස්තුව පිටපත් කර වර්ණ ගන්වා තිබෙන්නේ බිත්තියේ නිරූපිත පරිමාණයට ය. මුල් පිටපත් දිග හා පළල ඒ ආකාරයෙන් ම යොදා ගනිමින් සිත්තම් කරයි. මහා කණ්හ ජාතකය ද පහතරට සිත්තරුන් බහුල ව සිත්තම් කරනලද කතා වසිතුවකි. කළුතර දිස්ති‍්‍රක්කය තුළ පිහිටි දොඩන්ගොඩ සුදර්ශනාරාමය, ඈතගම සුමනාරාමය වැනි විහාරස්ථානයන්හී ද උක්ත ජාතකකතාව සිත්තම් කරනු ලැබ තිබේ. මහාකණ්හ ජාතක කතාවේ තේමාව සමකාලින සමාජ තත්වයට මනාකොට යෝග්‍ය වේ. විශේෂයෙන් ම පෘතුග‍්‍රීසි ලන්දේසි ඉංග‍්‍රීසින් තම ආර්ථික වාසි උදෙසා වරින්වර විවිධ උපක‍්‍රම ඔස්සේ මෙරට ජන ජීවිතය වෙනස් කිරීමට කටයුතු කළ අතර මේ ඔස්සේ ඔවුන්ගේ සිතුම්පැතුම් අදහස් හා ගුණධර්ම වලට ද මරු පහරක් එල්ල කරන ලදී. පහතරට සිංහල බෞද්ධ ජනතාව බොහෝ පිරිසක් ක‍්‍රිස්තියානි ආගම වැළඳ ගත් අතර ඔවුන් බටහිර සංස්කෘතිය හා බටහිර සිරිත්විරිත් අනුව යමින් ජීවත්වන පිරිසක් බවට පත් වි ය. ඒ ඔස්සේ දුෂ්ශීලයන් බවට පත් වූ ජනතාව ආචාර ධර්ම හා සංස්කෘතියට පටහැනි පිරිසක් බවට පත් වි ය. මින්සුන් දුරාචාරයට පත් වූ යුගයක ශක‍්‍රයා ඔවුන් ව ඉන් මුදවා ගැනීම මහා කණ්හ ජාතකයෙන් නිරූපිතය (පේ‍්‍රමතිලක, 1987:792-793). ශිල්පියා විහාර සිත්තම් නිර්මාණය කරනු ලැබුවේ ද එ වැනි වකවානුවක ය (ඵලක 6).

කතාව ගලායාම ආරම්භ වන්නේ මිනිසුන් සත්ව ඝාතනයේ යෙදෙන ආකාරය දැක්වෙන සිතුවමකිනි. එහි දී දුනු, කඩු රැගත් පුද්ගලයින් සතුන් මරා රැගෙන යන ආකාරය දැක් වේ. පසු ව විශාල සුනඛයෙක් හා මිනිසෙක් දැක් වේ. සුනඛයා ගේ ගාත‍්‍රා සතර දම්වැල් මගින් ගැටසා තිබේ. ජාතක කතා සංග‍්‍රහයට අනුව ශ‍්‍රක‍්‍ර දේවේන්ද්‍රයා මිනිසුන් ගේ සමාජ විරෝධී කි‍්‍රයා වැඩි වෙත් ම ඒවා පාලනය කළ යුතුයැයි සිතා තමා වැද්දකු ගේ වෙස්ගෙන මාතලී දිව්‍ය පුත‍්‍රයා සුනක වෙස් ගන්වා බරණැස් නුවරට පැමිණියේ ය. මොවුන් දෙදෙනා පැමිණෙන බව දැනගත් රජු වාසල් දොරටු වසා දැමීමට කටයුතු කර තිබේ. අනතුරු ව වාසල් දොරටු උඩින් පැන නගරයට ඇතුළු වීමට ශ‍්‍රක‍්‍රයා හා මාතලී දිව්‍ය පුත‍්‍රයා කටයුතු කරනු ලබයි. සුනඛයා ගේ නාදයෙන් භියට පත්වූ ජනයා සැඟවෙන්නට විය. රජු පැමිණ කුමක් නිසා සුනඛයා කෑ ගසන්නේ දැයි විමසු විට වැද්දා පවසන ලද්දේ බඩගිනි නිසා කෑ ගසන බවකි. අනතුරු ව රජු ඔහුට කන්නට බොහෝ බත් ගෙනවිත් දෙන ලදී. සිත්තරා අනතුරු ව දක්වන ලද්දේ ජනයා විසින් ගෙනවිත් දමන ලද්දා වූ බත් කා දමන සුනකයා ය. ඉදිරියේ රජු සිටින අතර අසල ආකාසයේ දක්නට ලැබෙන්නේ ශක‍්‍රයා හා මාතලී දිව්‍ය පුත‍්‍රයා දිව්‍ය ස්වරූපයෙන් දක්වයි. ඔවුන් දෙදනා රජුට යම් උපදෙසක් ලබාදෙන ආකාරය මෙහි නිරූපනය වේ. උඩුව විහාර සිත්තරා අනතුරු ව දක්වා තිබෙන්නේ රජු දැහැමින් රට පාලනය කරනු ලබන ආකාරයයි. රජු ජනතාවට අවවාද ලබාදෙන ආකාරය දැක් වේ. මෙ ලෙස දීර්ඝ ජාතක කතාවක් ඉතා කෙටියෙන් ජනයාට තේරුම් ගත හැකි පරිදි සිත්තම කිරීම ද ශිල්පියා සතු වු දක්‍ෂතාවකි. වනිගතුංග මහතා ගේ පිටපත් අතර දක්නට ලැබෙනුයේ මෙම ජාතක කතා තුන පමණි. විහාර ගර්භයේ සිත්තම් කර තිබෙන්නා වූ සිතුවම් හෝ පිටමාලය වටා වූ බිත්තියේ ඉහල තීරුවේ සිත්තම් කර තිබූ සූවිසි විවරණ සිතුවම් පිටපත් අතර දක්නට නැත.

ඇස්. පී. චාර්ල්ස් මහතා උඩුව විහාර සිතුවම් පිළිබඳ ව වැඩි දුරටත් දක්වමින් ප‍්‍රකාශ කරන්නේ කෝට්ටේ විහාර සිතුවම් හා උඩුව විහාර සිතුවම් අතර සමාන කමක් දක්නට තිබෙන බව ය. කෝට්ටේ විහාර සිතුවම් නිර්මාණය කරන ලද්දා වු පරම්පරාවේ ම ශිල්පියකු විසින් සිතුවම් නිර්මාණය කරන්නට ඇති බව දක්වයි (චාර්ල්ස් 1953). නමුත් උඩුව විහාර සිතුවම් හා කෝට්ටේ විහාර සිතුවම් අතර චාල්ස් මහතා දක්වන තරම් සමානතාවක් දැකිය නොහැකි වේ. (ඵලක 7) නමුත් විහරස්ථාන දෙකේ නිර්මාණය කර තිබෙන්නා වූ ඇදුම් ආයිත්තම් හී දැඩි සමානතාවක් දැකිය හැකි වේ. විශේෂයෙන් ම විහාරස්ථාන දෙකේ ම රජු නිරූපනය කිරීමේ දී භාවිත ඇදුම් සමාන ය. කළුතර දිස්ත‍්‍රික්කයේ පිහිටි මහනුවර සම්ප‍්‍රදායේ පහතරට ශෛලියේ සිතුවම් සහිත තවත් විහාරස්ථානයකි අශෝකාරාම ය. මෙහි නිර්මිත සිතුවම් හා කෝට්ටේ විහාර සිතුවම් අතර දැඩි සම්බන්ධතාවක් පවතී. බොහෝ විට මෙහි ද නිර්මාණ සඳහා දායක වන්නට ඇත්තේ ද කෝට්ටේ විහාර සිත්තර පරම්පරාවේ කෙනෙක් බව සිතිය හැකි වේ.

ඵලක 7 – මහාකණ්හ ජාතකය (කෝට්ටේ විහාරය)

නිගමනය

කාලයත් සමඟ විනාශ වූ විහාර මන්දිර බොහෝ ප‍්‍රමාණයක් ලංකාව පුරා පවතී. වර්තමානයේ එවන් වැදගත් නිර්මාණ තිබුනේදැයි පවා හඳුනා ගත නොහැකි පරිදි විකෘත්ති වී ගොසිනි. 20 වන සියවසේ සිටි ඇතැම් සිත්තරුන් පැරණි විහාර සිතුවම් තිබෙන්නා වූ වැදගත්කම අවබෝධ කරගනිමින් ඒවා පිටපත් කර තබන්නට විය. වනිගතුංග මහතා විසින් සිදුකරන ලද්දේ ද එවැන්නකි. වර්තමානයේ උඩුව සිරි සුනන්දාරාම විහාර මන්දිරය නොමැති වූවත් එහි සිතුවම් පිළිබඳ ව සාකච්ඡා කිරීමේ හැකියාව පවතින්නේ ඒ නිසා ය. ඔහු පිටපත් කරන ලද්දා වූ එම පිටපත් කාලයත් සමඟ විනාශ ව යා හැකි වේ. මේ හේතු කාරණාව නිසාවෙන් පිට පත් ආරක්‍ෂා කිරීම උදෙසා වැඩ පිළිවෙලක් යෙදීම ඉතා යෝග්‍ය කරුණකි.

උඩුව විහාර සිත්තරා බොහෝ විට තම තේමාව කොට ගෙන ඇත්තේ ද පහත රට මුහුදු බඩ තීරයේ විහාර සිත්තරුන් ගේ තේමාවන් ය. උඩුව තරමක් රට අභ්‍යන්තරයේ පිහිටි විහාරස්ථානයකි. නමුත් මෙහි ද එම තේමා ඔස්සේ සිතුවම් නිර්මාණය වීම තුළ ශීල්පියා මුහුදු බඩ තීරයේ සිතුවම් නිර්මාණය කරන ලද පරම්පරාවකින් පැවත එන්නෙක් බව සිතිය හැකි වේ. බොහෝවිට සිතුවම් නිර්මාණය කරනු ලබන සිත්තරා ම එහි ගෘහය ද සැලසුම් කරනු ලබයි. මේ හේතුවෙන් පහතරට වෙරළබඩ හා රට අභයන්තරයට වන්නට නිර්මාණ වු විහාර හී සමාන කම් දැකිය හැකි වේ. ඔවුන් ගේ තේමාවන් ප‍්‍රදේශයට නොව සමස්තයක් ලෙස රටට ම පොදු වූ තේමාවන් මුල්කර ගන්නට වූහ. එ බැවින් මෙවැනි සමානතාවක් දැක්වූවා වන්නට පුළුවන. උඩුව විහාර සිතුවම් වලට ද පොදු වූවකි. තත්කාලීන සමාජ පරිසරය තුල හිදිමින් නිර්මාණකරණයේ යෙදුනු විහාර සිත්තරුන් නැති වී යන සමාජ සංස්කෘතික උරුමයක් රැකගැනීම උදෙසා මහත් සේවාවක් සිතුවම් මගින් ඉටු කරන ලදී.

ආශි‍්‍රත ග‍්‍රන්ථ

  • චාර්ල්ස්, ඇස්. පී. (1953), හොරණ පැරණි බිතුසිතුවම්, දිනමිණ, අපේ‍්‍රල්. 23, පි. 03
  • ද සිල්වා, කේ.ටි. (1997), කුලය, පන්තිය හා වෙනස්වන ලංකා සමාජය, ප‍්‍රජා අධ්‍යාපන කවය, මහනුවර.
  • ප්‍රේමතිලක, එච්.ඩබ්.එන්. (1987), පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, සිසිර මුද්‍රණ ශිල්පියෝ, බණ්ඩාරගම.
--------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.22 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
--------------------------------------------------------------------------------