මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මුහුදු පුරාවිද්‍යා නිලධාරි, මධ්‍යම සංස්කෘතික අරමුදල, මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල.

හැඳින්වීම

රුක්‍ෂාන් ප‍්‍රියන්දන

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ලංකාවේ හමුවන ශිලා ලිපි කිහිපයක නාවුකයන් පිළිබඳව තොරතුරු සඳහන් වේ. නාවුක කරාව, දුත(න)වික, භොජකටක නවික, වශයෙන් ලෙන් පූජාකරන ලද අවස්ථා හී නවුක යන වචනය භාවිතාව ඇත (විජේසූරිය 1987: 20). නාවුක යනු යාත‍්‍රිකයන් හැදින්වීම පිණිස යොදාගත් වචනයක් බව පැහැදිලි ය. දුවේගල සෙල් ලිපියේ නාවික ප‍්‍රධානියකුගේ මුද්‍රාවක් නිරූපණය කර ඇත. එහි සඳහන් වන ‘ශගරඛිතශ’ යන නාමය සංඝ රක්ඛිත ලෙස පරණවිතාන අර්ථ දැක්වූව ද බොහෝ විද්වත් මතය වනුයේ ‘සාගරකිත්ති’ හෙවත් සාගරයේ සේවයේ නියුතු යන්න වන බවයි. මෙහි පැහැදිලිවම නෞකාවක රූප සටහනක් දක්වා තිබෙන අතර එහි කුඹ ගසක් හා රුවලක සලකුණු ද පැහැදිලිව හඳුනාගත හැකිය.

අකුරුගොඩ ප‍්‍රදේශයේ සිදුකරන ලද කැනීමක දි මැටිබඳුන් කැබැල්ලක තිබී නැවක සළකුණක් හමු වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මන් කාවා පුරාවිද්‍යා ආයතනය විසින් මෙම කැනීම සිදුකර ඇත. මැටි බඳුන් කැබැල්ල ක‍්‍රිස්තු වර්ෂ 4වන සියවට පමණ අයත් බව කාලනිර්ණයෙන් තහවුරු විය (සිල්වා 2005:1). හමු වූ යාත‍්‍රා සලකුණේ නැව් තට්ටුව, ඇණිය, අවර, කුඹගස මෙන්ම රුවල් ද දක්වා ඇත. කුඹ ගසේ රුවල් රැදවීමට භාවිත කරනු ලබන Yard ද පැහැදිලිව දැකිය හැකි වේ. අනුරාධපුර ඇතුළුනුවර ආශ‍්‍රිතව රොබින් කනින්හැම් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද කැනීමකින් හමු වූ මැටි බඳුන් කැබැල්ලක ද යාත‍්‍රාවක සළකුණකි. මෙහි කුඹ ගස මෙන්ම රුවල ද පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාව පවතී.

පළමු වන ගජබාහු රජු විසින් ගොඩවාය විහාරයේ පිහිටුවා ඇති සෙල් ලිපියක ගොඩවායෙහි වූ වෙළඳ වරායෙන් ලබා ගන්නා අයබදු මෙම විහාරස්ථානයට පූජා කළ බව සඳහන් වේ. එම ලිපියේ සම්පූර්ණ අදහස මෙසේ වේ.

සිධම, ගොඩපවත පටනෙහි සු (ක) සු(රි) යි
රජ ගමිනි අබය විහරට දිනි

යහපතක් වේවා ගොඩපවත වරායෙහි සාමාන්‍ය හා කුඩා අයබදු ගමිනි අබය රජු විහාරයට දෙන ලදී.

මෙම ලිපියෙහි අඩංගු සුක සුරියි යන පද පිළිබඳව විවිධ මත පලකර ඇතත් එහි ප‍්‍රධාන අදහස මෙම වරායෙන් අයකල යම් වර්ගයක බදු මුදල් බව පැහැදිලි ය (මුතුකුමාරණ 2009:3).

මේ සියල්ල මෙරට යාත‍්‍රා භාවිත වූ බවට දියහැකි උදාහරණ කිහිපයක් පමණි. ශ‍්‍රී ලංකාව වටා පුරාවිද්‍යා අවශේෂ වශයෙන් යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මේ වන විට සමත්ව ඇත. මේ අතර බොහොමයක් යාත‍්‍රා යටත් විජිත සමයේ ගිලී ගිය යකඩ භාවිතයෙන් නිමවූ යාත‍්‍රා ය. ශ‍්‍රී ලංකාව වටා වන මුහුදේ උෂ්ණත්වය, පාරිසරික තත්ත්වය හා ලී භාවිතයෙන් යාත‍්‍රා නිමවීම යන කරුණු නිසාවෙන් අතීතයේ ගිලී ගිය යාත‍්‍රාවන්ගේ ශේෂයන් ඉතිරි නොවන්නට ඇත. ගොඩවාය හා අම්බලන්ගොඩ යාත‍්‍රා හැරුණු කොට දකුණු පලාතෙන් සොයාගෙන ඇති ඉතිරි ලී යාත‍්‍රා සියල්ල යටත් විජිත සමයේ ගිලී ගොස් ඇත. මෙම ලිපිය යටතේ අම්බලන්ගොඩ, ගාල්ල, කිරින්ද හා අම්බලන්තොට ආශ‍්‍රිතව ගිලී ගිය ලී නෞකා පිළිබඳ ව අවධානය යොමු කරනු ලැබේ.

1. ගොඩවාය ඉපැරණි නෞකාව

ගොඩවාය නෞකා ගොඩැල්ල

ක‍්‍රිස්තු පූූූූර්ව 2වන සියවසට පමණ අයත් වේ යැයි කාලණිර්ණ කර තිබෙන ගොඩවාය නෞකාව ආසියානු පැසිෆික් කලාපයේ මෙතෙක් හමුවී ඇති පැරණිම නෞකාවයි (Muthucumarana 2013:132). ගොඩවාය නෞකාව සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ප‍්‍රදේශීය කිමිදුම් කරුවන් දෙදෙනෙක් වන පේමින්ද හා සුනිල් යන දෙදෙනා වෙත ය. ඔවුන් කිමිදුම් කටයුතු සිදුකරද්දී ගල් බංකුවක් හා වලංකටු සමූහක් හමු වී ඇත. ගල් බංකුවක් මුහුදු පත්ලේ තිබිය නොහැකි නිසාවෙන් ඔවුන් එය ගොඩට ගෙනවිත් තිබේ. පසුව ගොඩවාය විහාරස්ථානයේ කැනීම් කටයුතු සිදුකරමින් සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරී සනත් කරුණාරත්න හට පෙන්වන ලදී. ඒ අනුව මෙකී ස්ථානය අනාවරණය විය (සනත් 2010:6). ගොඩවාය සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් මීටර් 32ක් ගැඹුරේ නෞකාවේ අවශේෂ පවතී.

ගොඩවායෙන් හමු වූ මෙකී යාත‍්‍රාව නිශ්චිතවම මෙරටට අයත් වූ යාත‍්‍රාවක්ද යන්න පැවසීමට තරම් සාක්‍ෂි නැතත් පෙරදිග රටකට අයත් නෞකාවක් ලෙසින් හැඳිනිය හැක. අතීත මාගම රාජධානියේ ප‍්‍රධාන වරාය වූයේ ගොඩවායයි. වලවේ ගඟ මුවදොර ගොඩවාය වරාය පිහිටීම හේතු කොට ගනිමින් රට අභ්‍යන්තරයේ සිට වරායටත්, වරායේ සිට රට අභ්‍යන්තරයටත් භාණ්ඩ හුවමාරු වූ බව පැහැදිලි ය. ගොඩවාය අවට මුහුදු පත්ලේ ගල් භාවිතයෙන් නිම වූ ගල් නැංගුරම් දැකිය හැක. මෙම සාධකය ද පැහැදිලිවම ගොඩවාය අතීත වරායක් බවට තහවුරු වේ. නෞකාවේ කාලරක්ත වර්ණ මැටිබඳුන් විශාල ප‍්‍රමාණයක් විසිරී පවතී.

ක්‍ෂේත‍්‍රයේ තිබූ මැටි බඳුනක්

මෙම මැටිබඳුන් ගොඩවාය විහාරය, අකුරුගොඩ හා තිස්සමහාරාමයේ කැනීම් මඟින් හමු වූ මැටි බඳුන් හා සමානතාවක් දැකගත හැකි වේ. නෞකාවෙන් ගල් බංකු කිහිපයක් හමු විය. හමු වූ එක් ගල් බංකුවක මත්ස්‍ය, වජ්‍ර හා නන්දිපාද සලකුණු දැකිය හැක. මෙම සලකුණු ක‍්‍රිස්තු පූර්ව යුගයේ භාවිත වූ සංකේත ය. (මුතුකුමාරණ 2011:2) ගල් බංකු මත තිබුණ සංකේත බෞද්ධ සංකේත බව පිළිගත් මතයි. මෙවැනි ගල් බංකු ඇඹරීම් සඳහා භාවිත කරන ලද බවට සාධක අකුරුගොඩ කැනීමෙන් හමු විය. යටාල විහාර කෞතුකාගාරයේ මෙවැනි ගල් බංකු කිහිපයක් ප‍්‍රදර්ශනයට තබා තිබේ.

නෞකාවෙන් හමුවන ලී කොටස් ශක්තිමත්භාවයෙන් යුක්ත ය. මේවා දීර්ඝ කාලයක් මුහුදේ තිබීම නිසාවෙන් පොසිල තත්ත්වයට පත්ව ඇත. ඇතැම් තැනක බොහෝ සෙයින් දිරා ගිය යකඩ කොටස් දැකිය හැකි ය. මේවා පතුරු වශයෙන් ගැලවී යයි (මුතුකුමාරණ 2011:6). ක්‍ෂේත‍්‍රයේ තිබී හමු වූ තඹ කුට්ටි ද විශේෂ වේ. බොහෝවිට මෙම තඹ නෞකාවෙන් ප‍්‍රවාහනය කල භාණ්ඩ අතර තිබෙන්නට ඇත. මැටි භාජන වර්ණ ගැන්වීම සඳහා භාවිතයට ගන්නා ලද ග්ලේස් කුට්ටි (Glaz Ingots) හඳුනා ගැනීමට හැකි විය. මේවා නිල් පැහැයෙන් යුක්ත විය. මින් පෙර මෙවැනි කොටස් හමු වූ බවට වාර්තා නොවේ.

2. රිදී කාසි නැව

රිදී කාසි

දකුණු පලාතේ කිරින්ද හා යාල අතර වන මුහුදු සීමාවේ ඇති පරය රාවනා පරය ලෙසින් හඳුන්වයි. මෙය ඉංගී‍්‍රසියෙන් Great Basses නම් වේ. එහි අර්ථය මහා පරය යන්නයි. මෙම පරය ආශ‍්‍රිතව මුහුදු ගමන් මාර්ගය වැටී පැවතීම හේතුවෙන් බොහෝ නෞකා විනාශයට පත්ව ඇත. බි‍්‍රතාන්‍යයන් මෙහි ඇති අවධානම හේතුවෙන් සංඥා එළි නිකුත්කරන යාත‍්‍රා නවතා තැබීමට කටයුතු කර ඇත (විජේබණ්ඩාර 2011:161,162) මෙම යාත‍්‍රා සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවීමත් එය එතරම් සාරථක නොවීමත් යන කාරුණු මත මෙම ස්ථානයේ ප‍්‍රදීපාගාර දෙකක් ඉදිකර තිබේ. රිදී කාසි නැව ද මෙම මහා පරයේ වැදී අනතුරට ලක්ව ගිලී ගිය නෞකාවකි. රිදී කාසි නැව පළමු වරට සොයාගනු ලැබුවේ 1961 වර්ෂයේ දී ය. මයික් විල්සන් සමග කිමිදුම් කටයුතු කල දහහතර හැවිරිදි බොබී ක‍්‍රීගෙල් (Bobby Kriegel) හා දහතුන් හැවිරිදි මාර්ක් ස්මිත් (Mark Smith) විසිනි. එහි දී ඔවුන් රිදීකාසි හා පිත්තල කාලතුවක්කු දෙකක් ගොඩ ගෙනා බව සඳහන් වේ (Clarke 1964:31,35). මෙහි රිදී කාසි දහස බැගින් රෙදි මළුවල තැම්පත් කර තිබිණ.

Bobby Kriegel හා Mark Smith රිදී කාසි සමඟ

නැව වයඹ දිග ඉන්දියාවේ සූරත්හි නිපදවන ලද රිදීකාසි තොගයක් ප‍්‍රවාහන කරමින් තිබියදී වර්ෂ 1702 මහා රාවණා පරය ආශ‍්‍රිතව අනතුරට ලක්ව ඇත. ඉන්දියාව පාලනය කරන ලද ඔරාන්ග්සිබ් (Aurangzeb) නම් මෝගල් අදිරාජ්‍යාට (1658-1707) අයත් අයත් රිදී කාසි මෙහි විය. මෙහු තම අධිරාජ්‍ය භාරතය පුරාව පැතිර වූ අධිරාජ්‍යයෙක් ලෙස ප‍්‍රසිද්ධය. එය ප‍්‍රමාණයෙන් නන්ද හා මෞර්ය අධිරාජ්‍ය තරම් වූ බව කිය වේ (විජේතුංග 2012:111).

 

මයික් විල්සන් (Mike Wilson) රොඩ්නි ජොන්ක්ලස් (Rodney Jonklaas) හා ආතර් සී. ක්ලාර්ක් යන මහත්වරුන් මෙම ස්ථානයේ කිමිදී ඇත. අනතුරුව එවක පුරාවිද්‍යා කොමසාරිස්ව කටයුතු කල චාල්ස් ගොඩකුඹුරගේ අවසරය හා සහයෝගය මත ක‍්‍රමානුකූල පර්යේෂණයක් සිදුකර ඇත. මේ සඳහා මුහුදු පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂඥයෙකු වූ පීටර් තෝක්මෝටන් (Peter Thockmoton) සහභාගී විය. මෙරට ජලාශ‍්‍රිත පුරාවිද්‍යා උරුමය සම්බන්ධ ප‍්‍රථම පර්යේෂණය ද මෙය විය. එහි දී නැව ආශ‍්‍රිත සැළසුමක් සකස් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. මෙහිදී අඩි 4.5 දිග අලංකාර කාල තුවක්කුවක්, පිත්තල බන්දේසියක් හා කාලතුවක්කු උණ්ඩ ගොඩගෙනාබව සඳහන් වේ (Clarke 1964: 144-146).

මෙම ස්ථානයේ කිමිදුම් කළ හැකි වන්නේ වර්ෂයකට දින කිහිපයක් පමණි. 2009 හා 2011 යන වර්ෂයන්හී දී ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම නැව ආශ‍්‍රිතව පර්යේෂණ කටයුතු සිදුකර ඇත. එහි දී කාලතුවක්කු හා විසිරී පැවතුණු රිදී කාසි කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකි විය.

3. ඇවෝන්ස්ටර් නෞකාව (Avondster)

Avondster නෞකාව කැණීම් අතර තුර

1641 වර්ෂයේ දී බි‍්‍රතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළද සමාගම නෞකාව මිලට ගෙන තිබේ. ඔවුන් මෙය ආශිර්වාද (BLESSING) ලෙස නැව නම්කර ඇත. මුල් කාලීන ව දීර්ඝ නෞකා කටයුතු සඳහා භාවිත කර ඇත. 1645 වර්ෂයේ දී ඉන්දියාවේ සුරාත් වෙත පැමිණ 1650 දක්වා ආසියානු කලාපයේ වෙළඳ කටයුතු සඳහා නෞකාව දායකව ඇත. පෙරදිග වෙළඳ ආදිපත්‍ය උදෙසා ඉංග‍්‍රිසි හා ලන්දේසි ජාතිකයින් බල අරගලයක නිරත විය. 1652 වර්ෂයේ මොවුන් අතර යුද්ධයක් හට ගත්හ. මෙය ගොඩබිම යුද්ධයක් නොව මුහුදේ කෙරුණු යුද්ධයක් විය. ආශිර්වාද නෞකාව ද මෙම සටන සඳහා එක්කර ගත්හ. එහි කාර්යභාරය වූයේ සටන් වැදී සිටින බි‍්‍රතාන්‍ය නෞකාවන්ට අවශ්‍ය යුධෝපකරණ ආහාර ද්‍රව්‍ය හා සෙබලුන් සැපයීමයි. 1653 දී පර්සියාවට ආසන්න මුහුදේ බි‍්‍රතාන්‍ය හා ඕලන්ද නෞකා අතර දරුණු සටන් ඇති විය. ආශිර්වාද නෞකාව තම භටයින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන විට යුද්ධය අවසන් වී තිබිණ. ඒ ලන්දේසීන්ට ජයග‍්‍රහනය අත්කර දෙමිනි. ඒ වන විටත් බි‍්‍රතාන්‍ය නෞකා රැසක් ඕලන්ද ජාතිකයින් අත පත්ව තිබිණ. සතුරු නෞකාවලට මැදි වූ ආශිර්වාද නෞකාව තනිව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට විය. සටනින් නියත පරාජයක් අත්වන බව දැනගත් ආශිර්වාද නෞකාවේ කපිතාන්වරයා යටත් වන්නට තීරණය කලේය. ඒ කොන්දේසි කිහිපයක් පනවමිනි. තම නෞකාවේ කිසිවෙකුට අනතුරක් නොකරන්නේ නම් යටත්වන බවත් කොන්දේසි වලට එකඟ නොමැති නම් මැරෙන තුරු සටන් වදින බව දන්වා යවන ලදී. කොන්දේසි වලට එකඟ වූ ඕලන්ද ජාතිකයින් පිරිස් හා නැව අත්අඩංගුවට ගත්හ. පසුව නැව නෙදර්ලන්තයේ දී නැවත අලුත්වැඩියා කර ඇත.

නෞකාවෙන් හමුවූ පුරාවස්තුවක්

1655 වර්ෂයේ දී නැවතත් අලුත්වැඩියා කළ ආශිර්වාද නෞකාව බතාවියා වෙත එවන ලදී. ඒ ඇවෝන්ඩස්ටර් ලෙස නම්කිරීමෙන් අනතුරුව ය (Parthesius 2007:12-13). එහි අරුත සැදෑ තරුව හෙවත් ඉරබටු තරුවයි. ඇවෝන්ඞ්ස්ටර් 1656 ජපානය දක්වා ගමන් කර නැවත ඕලන්දයට පැමිණ තිබේ. නෞකාව අබලන් සහගත තත්ත්වයෙන් ඕලන්දය කරා පැමිණෙන විටත් ජලය කාන්දු වෙමින් තිබිණ. පසුව ඕලන්දයේ දී නැවතත් අලුත්වැඩියා කරන ලද අතර අනතුරුව බතාවියා හා ඉන්දුනීසියා කලාපයේ යාත‍්‍රා කිරීමට යොදාගෙන ඇත. 1658 වර්ෂයේ ඇවෝන්ඞ්ස්ටර් නෞකාව ලංකාවට පැමිණ තිබේ. ගාල්ල වරායේ නවතා තිබිය දී නැංගුරම සම්බන්ධ ලණුව කැඞී යාම හේතුවෙන් 1659 වර්ෂයේ විනාශයට පත්විය.

නෞකාව සොයාගනු ලැබුවේ 1992 වර්ෂයේ දී ය. ඒ ගාල්ල වරායේ සිදුකල ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. 2001 වර්ෂයේ දී නෙදර්ලන්ත ආධාර ඇතිව මධ්‍යම සංස්කෘතික අරමුදල නෞකාවේ කැනීම් කටයුතු ආරම්භ කරන්නට විය. එහිදී වැදගත් කරුණු රාශියක් හා පුරාවස්තු සොයාගැනීමට හැකියාව ලැබිණ. නැව මත රොන්මඩ තැම්පත් වීම මත බොහෝ කොටස් ආරක්‍ෂා සහිතව තිබිණ. එහි මධ්‍ය කොටසේ මුළුතැන්ගෙය විය. මුළුතැන්ගෙයි තිබී පිගන්, මැටිබඳුන්, හැඳි ආදී භාණ්ඩ රැසක් හමු විය. නැවේ පිටුපස කොටසේ සිදුකරන ලද කැනීමෙන් එහි තිබී යුධ උපකරණ සොයාගැනීමට හැකි විය. ඇවෝඞ්ස්ටර් නෞකාවෙන් අනාවරණය කරගත් පුරාවස්තු ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට කටයුතු කර ඇත.

4. හර්කියුලිස් නෞකාව (Hercules)

Hercules නෞකාවේ සීනුව

ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගමට අයත් වූවකි. නෞකාවේ කාලතුවක්කු 36 සවිකර තිබී ඇත. 1625 වසරේ ඕලන්දයේ ඇමස්ටර්ඩෑම් වරායේ නැව නිපදවා තිබේ. ජාවා, සුමත‍්‍රා, මලක්කාව, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදාගත්හ. 1661 වර්ෂයේ මැයි මස 22 වන දින ගාලුු වරායේ දී යාත‍්‍රාව ගිලීගොස් ඇත. ගිලීයන අවස්ථාවේ කුරුදු පෙට්ටි 17,000ක් හා තවත් වෙළඳ භාණ්ඩ තිබී ඇත.

ඇසින් දුටු සාක්ෂිකරුවකු උපුටා දක්වමින් ලන්දේසි ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ උසස් නිලධරියෙක් කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව තෝලන් (Thoolen) ඇන්ග්ලියර් (Angelier) හර්කියුලිස් (Hurcules) සහ එල්බර්ග් (Elburg) යන ලන්දේසි නැව් බතාවියා දක්වා යාත‍්‍රා කිරීමට නියමිතව තිබිණ. එම අවස්ථවේ ඇති වූ සුලඟකින් හර්කියුලිස් නැවේ නැංගුරම දැමූ ලණුව කැඞී ගොස් ගල්පරයක වැදී නැව විනාශ වී ඇත.

පසුව කරන ලද ගවේෂණයක දී නෞකාවේ සීනුව සොයාගැනීමට හැකි විය. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ‌මෙම සීනුව තැන්පත්කර ඇත. නැව නිෂ්පාදනය කරන ලද වර්ෂය ලෙසින් සීනුවේ සටහන්වන්නේ 1625 යි. ලෝකඩින් නිර්මාණය කරන ලද සීනුව මතුපිට AMORVINCIT OMNIAANNO හෙවත් LOVE CONQUERS ALL ආදරය සියල්ල විජයග‍්‍රහනය කරනවා යනුවෙන් සඳහන් කර ඇත.

නෞකාවේ කාලතුවක්කු මුහුදු පත්ලේ ඇති ආකාරය

ගාලු වරායේ ගිබන් දූපත ආසන්නයේ නෞකාවේ අවශේෂ මීටර් 50ක් පමණ දුරට විසිරි පවතී. වර්තමානය වන විට කාලතුවක්කු පමණක් දැකිය හැක. ගල් පර අතර රැදී ඇති කාල තුවක්කු මීටර් 5ක් පමණ ගැඹුරේ ස්ථානගතව තිබේ. මේ ආසන්නයේ තිබී මුහුදේ ගැඹුර මනිනු ලබන උපකරණ දෙකක් (Sounding Led) හා ඊයම් භාවිතයෙන් නිම වූ පුරාවස්තුවක් හමුව තිබේ. මේවා හර්කියුලිස් නෞකාවේ භාවිත කරන ලද උපකරණ ලෙස සැලකේ.

5. ගාලු වරායේ ගිලීගිය, හඳුනා නොගත් ලී නෞකාව (Site E)

Site E නෞකාවේ සැළැස්ම

ගාලු වරායේ ගිලී ගොස් ඇති මෙම නෞකාව ද ඇවෝස්න්ටර් නෞකාව මෙන් රොන්මඩින් වැසී පවතී. ගිලීගිය කාලවකවානු පිළිබඳව නිශ්චිතවම සඳහන් කිරීමට හැකියාවක් නොමැත (Jeffery & Mutukumarana 2005:37). මෙම නෞකාව පළමුව අනාවරණය වූයේ 1992 වර්ෂයේ ගාලු වරාය ආශ‍්‍රිත සිදුකරනු ලැබූ ගවේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙහි ප‍්‍රධාන කොටස් වැල්ලෙන් වැසී පවතී (Green, Millar, Devendra 1993:3).

යාත‍්‍රාවේ නිර්මාණ ලක්‍ෂණ අනුව යුරෝපීය හෝ ඇමරිකානු සම්බවයක් දක්නට ලබෙන බවටද අදහස් පල වී තිබේ. නෞකාවේ ලී කොටස් ඉහලට එස වී පවතී. නෞකාව සමබර කිරීම උදෙසා භාවිත කළුගල් විශාල වශයෙන් දක්නට ලැබේ. එම ගල් වලට යටින් ලී තට්ටුවේ කොටස් දැකිය හැකි වේ. නෞකාව නිපදවීම සඳහා රතු ඕක් (Red Oak) ලී භාවිත කර තිබේ (Green 1992:22). නෞකා බඳට ලී සම්බන්ධ කිරීම සඳහා භාවිත කළ තඹ ඇණ නෞකාවෙන් හමු වේ. එසේම මෙම ස්ථානය ගවේෂණය කිරීමේ දී මතුපිට පුරාවස්තු වශයෙන් දුම් නල අනාවරණය කරගෙන ඇත. ගාලූ වරාය තුළ වන අදුරු ස්වභාවය නිසාවෙන් නිරන්තරයෙන්ම පැහැදිලි දෘශ්‍යතාවක් මෙහි දැකිය නොහැක. මීටර් 3ක් පමණ ගැඹුරේ කොටස් තැම්පත්ව ඇත. තරමක් ඉහලට එස වී තිබෙන ලී කොටස් දැකිය හැකි වේ.

6. අම්බලන්ගොඩ ලී නෞකාව

1998 වර්ෂයේ හමුවූ පුරාවස්තු

අම්බලන්ගොඩ ධීවර වරාය තුළින් හමුවන දැවමය යාත‍්‍රාව පිළිබඳ ව මුලින්ම තොරතුරු හමුවන්නේ 1998 වර්ෂයේ දී ය. එම වර්ෂයේ දී අම්බලන්ගොඩ ධීවර වරාය අවට ප‍්‍රදේශවාසීන් හා ධිවරයින් විසින් වෙරළට මීටර 50ක් පමණ දුරින් වරාය ඇතුළත මුහුදු පත්ලෙන් යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භාණ්ඩ අනාවරණය කොටගෙන ඇත. මෙම සිදුවීම පුවත්පත්වල පළවීතිබිණ. ගිහාන් ජයතිලක හා නෙරීනා ද සිල්වාගේ මූළිකත්වයෙන් එම ප‍්‍රදේශය ආශි‍්‍රතව සිදුකළ ගවේෂණය වැදගත් වේ. ක්‍ෂේත‍්‍රයේ තත්කාලීන ස්වභාවය හා ප‍්‍රදේශයේ ධීවර සමාජයේ යම් යම් පුද්ගලයින් විසින් ලබාදුන් තොරතුරු පිළිබඳ එහි දී සොයාබලන ලදී. ඒ වන විට යාත‍්‍රාව තිබූ ස්ථානය වැල්ලෙන් යට වී තිබූ අතර කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. එම දැව කොටස් දුටු අයගෙන් තොරතුරු ලබාගෙන ප‍්‍රදේශවාසින් විසින් ගොඩගෙන තිබූ පුරාවස්තු වාර්තාගත කර ඇත. ඒ අතර ඇඹරුම් ගලක්, බර කිරුම් පඩියක්, කොට්ටා පොල්, කිරි කවඩි, කුඩා කාලතුවක්කු උණ්ඩ දෙකක්, මෝස්තර සහිත පිඟන් බඩු, සුදු හා නිල් පැහැති චීන පෝසිලේන් බඳුන් කොටසක්, ඇත් දත් මිට සහිත මුතු කර්මාන්තය සඳහා භාවිත කළ නියනක් වැනි උපකරණයක්, දිශානතිය සොයා ගන්නා උපකරණයක කොටසක් (Astrolabe) වැනි දෑ විය.

නෞකාවෙන් හමුවන කිරි කවඩි

දේව රූපයක් පිළිබඳ තොරතුරු ලැබුන ද එය සොයාගත නොහැකි වී තිබේ. මේ සියලු තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු එම යාත‍්‍රාව ඉන්දීයාව හා ලංකාව අතර වෙළඳාමේ යෙදවූවක් විය හැකි බවට මත පල විය (Jayatilaka, Silva, Weerasingha….1998, 1).

මෙම යාත‍්‍රාව ආසියානු සම්භවයක් සහිත බවට සෝමසිරි දේවේන්ද්‍ර ද සඳහන්කරයි. ඔහු පවසන්නේ මෙය බොහෝ විට යාපනය තෝනි (JaffnaThoni) නමින් හැඳින්වු යාත‍්‍රා විශේෂය විය හැකි බවයි. සොයාගත් භාණ්ඩ ආසියානු ඉහුම් පිහුම් උපකරණ බව මොහු සඳහන් කරයි (Devendra 2005: 5). වර්ෂ 2007 දී අම්බලන්ගොඩ වරාය ආශ‍්‍රිතව ගෙන ගිය සංවර්ධන වැඩ පිළිවෙලේ දී මුහුදු පත්ල හෑරීමකට ලක්කළ අතර එහිදී පුරාවස්තු රැසක් අනාවරණය විය. හමු වූ පුරාවස්තු අතර කිරිකවඩි (Cowry Shells, Cypraea moneta), තඹ පිඟන් හා බඳුන් (Copper Plates & Jars), සෙරමික් මැටි බඳුන් හා ලෝහමය පුරාවස්තු වාර්තා වී ඇත. ප‍්‍රදේශයේ යම් යම් පුද්ගලයින්ට කාලතුවක්කු හමු වූ බව ද වාර්තා වේ. හමු වූ එක් කාලතුවක්කුවක් ලණුවලින් බැඳ තිබූ බවට ද සාක්ෂි විය. ඒ අනුව වරාය සංවර්ධන කටයුතු අතරතුර දී ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් එක්දින ගවේෂණයක නිරතවිය. එහිදී යන්ත‍්‍රාණුසාරයෙන් (Dredgin Machine) හාරන ලද ස්ථානය ඇතුළු අවට ප‍්‍රදේශය විශේෂ අවධානයට ලක් කළහ. මීටර් තුනක් පමණ ගැඹුරකින් ප‍්‍රදේශය යුක්ත විය. අවට ප‍්‍රදේශය ආශ‍්‍රිතව අනාවරණය කර ගැනීමට හැකි වූයේ විශාල ප‍්‍රමාණයක් වූ කිරි කවඩි පමණි. මුහුදු පත්ල හෑරීමේ දී මතු වූ පුරාවස්තු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන ගොස් තිබූ අතර එම භාණ්ඩ මුහුදු පුරාවිද්‍යා ඒකකය වෙත ගෙන එන ලදි. අරාබි අක්‍ෂර සහිත තඹ භාජන හා පිඟන් එහි තිබිණ. අක්‍ෂර සහිත භාජන දෙකක් එහි විය. වරාය හාරන මැෂිම හරහා තඹ භාජන ගමන් කිරීමෙන් ඒ්වා කැඞී ඇඹරීමට ලක්ව තිබිණ. තඹ භාජන දෙකේ දක්නට ඇති අරාබි අක්‍ෂර වල තිත් රහිත ය. අරාබි අක්‍ෂර වල තිත භාවිතය ආරම්භ වූයේ ඉස්ලාම් ආගම බිහි වූවාට පසුව ය. ඒ ක්‍රිස්තු වර්ෂ 6වන සියවසින් පසුව ය.

අක්‍ෂර සහිත තඹ බඳුන

මෙම අක්‍ෂරහී තිත් භාවිත කොට නොමැත. එබැවින් මෙම අක්‍ෂර ඉස්ලාමයට පෙර අක්ෂර බව පැහැදිලි ය. තඹ භාජන දෙකේම සටහන්ව ඇත්තේ එකම කරුණයි. ඒ ‘අබ්දුල් රාබ් ඔහුට ප‍්‍රධානය කරන ලදී’ (Mr.Abdul Rabb Awarded to him) ලෙස ය. (Karunarathna, Saleem, Chandrarathne 2016:92). අරාබි අක්ෂර හමුවීමෙන් නෞකාවේ කාලනිර්ණය හා ආසියානු සම්භවයක් සහිත යාත‍්‍රාවක්ය යන මතය අභියෝගයට ලක් විය.

2012 වර්ෂයේ මාර්තු මස 1 සිට අපේ‍්‍රල් 10 වන දින දක්වා මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම යාත‍්‍රාව ගිලී පවතින ස්ථානයේ කැනීමක් සිදුකරන ලදී. එහිදී මීටර් 1ක් පමණ ප‍්‍රමාණයට මුහුදු පත්ල කැනීම් කරන ලදී. නමුත් නෞකාවේ අවශේෂ සොයාගත නොහැකි විය. බොහෝ විට තවත් මීටර් කිහිපයක් වැලි වලින් යටව පවතින්නට පුලුවන. තාක්‍ෂණික උපකරණවල පැවති අඩුලුහුඩුකම් මත පර්යේෂණය ඉදිරියට රැගෙනයාමට බාධා ඇති විය.

නිගමනය

මෙරට වරායන් අතර ප‍්‍රධානතම වරායන් කිහිපයක් දකුණු පලාත ආශ‍්‍රිතව පිහිටා ඇත. ගොඩවාය හා ගාල්ල ඒ අතර ප‍්‍රධාන වේ. ඊට අමතරව ප‍්‍රදේශීයව සංවර්ධනය වූ පැරණි වරායන් විශාල ප‍්‍රමාණයක් දැකිය හැකි ය. අම්බලන්ගොඩ, දොඩන්දූව, වැලිගම, කිරින්ද, පොත්තන එවැනි පැරණි වරායන් කිහිපයක් පමණි. මෙකී වරායන් වෙත කි‍්‍රස්තු පූර්ව යුගයේ සිටම නෞකා පැමිණි බවට සාධක වේ. නමුත් ගිලීගිය යාත‍්‍රා අවශේෂ හමුවන්නේ ස්වල්පයකි. මෙරට මුහුදේ ස්වභාවය පැරණි නෞකා අවශේෂ ඉතිරි නොවන්නට හේතු විය. යටත් විජිත සමයේ ගිලීගිය ලී නෞකා හඳුනාගැනීමට හැකි වන්නේ ඒවායේ යකඩ භාවිත කර ඇති හෙයිනි. වර්තමානය වන විට ඇතැම් නෞකාවන්හී භාවිත කල ලී අවශේෂ දැකිය හැකි වූවද ඇතැම් තැනක ලී අවශේෂ දැකිය නොහැක. විශේෂයෙන්ම හර්කියුලිස් නෞකාව හා රිදී කාසි නැව පෙන්වා දිය හැක. ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පුරාක්‍ෂේත‍්‍ර සොයාගනු ලබන්නේ ප‍්‍රදේශීය පුද්ගලයින් ලබාදෙන තොරතුරු මතය. ඒ අතර ‌බොහෝමයක් යකඩ නෞකාවන් ය. තවමත් ක‍්‍රමවත් විද්‍යාත්මක ගවේෂණයකට ලක්කර ඇත්තේ ගාල්ල වරාය ආශ‍්‍රිත කලාපය පමණි. එබැවින් ලංකාව වටා මෙතෙක් අනාවණයකර ගැනීමට නොහැකි වූ නෞකාවන් බොහෝ ප‍්‍රමාණයක් සැගව පවතින්නට පුලුවන.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • මහාවංශය (2004), බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 125, ඇන්ඩර්සන් පාර, නැදිමාල, දෙහිවල,
  • විජේසූරිය විමල (1987), රුහුණේ අප‍්‍රකට පුරාවෘත, තරංජි ප‍්‍රින්ටර්ස්.
  • මුතුකුමාරණ, රසික (2009), දළනිදු, වෙළුම 1 කාණ්ඩය 1 ඔක්තෝම්බර්, ගෝඨ පබ්බත රජමහා විහාරය, මුහුදු පුරාවිද්‍යා ඒකකය, සංස්. රසික මුතුකුමාරණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.
  • මුතුකුමාරණ, රසික (2011), දළනිදු, වෙළුම 3, කාණ්ඩය 1 ජනවාරි , ගොඩවාය පුරාක්ෂේත‍්‍රය -සංස්කෘතික සහයෝගීතා වැඩසටහන, සංස්කණය රසික මුතුකුමාණ, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල, විද්‍යුත් පුවත් සරණිය.
  • විජේබණ්ඩාර, කි‍්‍රෂ්ණ (2011), චතුදිශ රුසිරු දුටුවෙම් ගොඩපවත් පටුන් මනොරමෙ, වයඹ සහ රුහුණු මුහුදේ නාවික වෘත්තාන්ත, එස්. ඇන්ඩි. එස්. ප‍්‍රින්ටර්ස්, කොළඹ.
  • සනත්, ඩබ්.කේ. (2010), දළනිදු, වෙළුම 2 කාණ්ඩය 2 අපේ‍්‍රල්, ගොඩවාය මුහුදු පත්ලෙන් හමුවන බෞද්ධ සලකුණු, මුහුදු පුරාවිද්‍යා ඒකකය, සංස්. රසික මුතුකුමාරණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල, විද්‍යුත් පුවත් සරණිය.
  • ද සිල්වා නිමල් (2005), හම්බන්තොට දිස්ත‍්‍රික්කය, සමාජ සංස්කෘතික උරුමය, මොරවක මුද්‍රණාලය, කොට්ටාව, පන්නිපිටිය.
  • විජේතුංග, ඩබ්ලිව්.එම්.කේ. (2012), මූගල් ඉන්දියාව, සී/ස සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
  • Clarke, Arthur C. (1964), The Treasure of the Great Reef, Harper & row, Publisher,
  • Devendra Somasiri (2005), RESEARCHING SRI LANKA’S MARITIME HERITAGE, Maritime Lanka – July, (Edited) Rasika Muthucumarana, Maritime Archaeology Unit, Galle.
  • Green Jeremy, Millar Karen, Devendra Somasiri (1993), Maritime Archaeology in Sri Lanka The Galle Harbour Project – 1993 interim Report, Department Of maritime Archaeology Western Australian Maritime Museum No 65.
  • Green Jeremy (1992), Maritime Archaeological Research Programme in Galle 1992, Maritime Archaeology in Sri Lanka The Galle Harbour Project 1992 (Edited) Jeremy Green, Somasiri Devendra, Postgraduate Institute of Archaeology, University of kelaniya.
  • Jayatilaka Gihan, Silva de Nerina, Weerasingha palitha, Dawson Tom, Wijenayake P, Jayanthi P G J. (1998), Ambalangoda Shipwreck Project on Preliminary Investigation.
  • Jeffery Bill & Muthucumarana Rasika. (2005), THE TSUNAMI EFFECTSBased on the ongoing assignment to assess the damagers and changers to the underwater archaeological sites in Galle harbour, Maritime Lanka, July, (Edited) Rasika Muthucumarana, Maritime Archaeology Unit, Galle.
  • Karunarathne Mahinda, Saleem Mohamed Sulthan Mohamed, chandrarathne W.M. (2016), Hidden Past of a Natural Harbour:Maritime Archaeological investigation in Ancient Harbour at Ambalangoda Sri Lanka, The Proceedings of the Second Archaeological Research Symposium, University Of Rajarata (Edided) D. Thusitha Mendis, Rajarata University of Sri Lanka, Mihintale.
  • Muthucumarana Rasika (2013), The ancient wreck at Godawaya, Maritime Heritage of lanka Ancient ports and harbours, (Edited by) Sarala Fernando, Gunaratne Offset (Pvt) Ltd.
-------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.09.10 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here