[wpViralQuiz id=3542]
ඓතිහාසික පොළොන්නරුවේ දළදා මළුව
දළදා මළුව, පොළොන්නරුව
අනුරාධපුර රාජධානිය 1017 දී චෝල ආක්‍රමණයෙන් සොළින්ට අයත්වූ පසු පොළොන්නරුව පාලන නගරයක් ලෙස වර්ධනය විය. විජයබාහු රජතුමා විසින් චෝල පාලනයෙන් රට බේරාගෙන දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුව පොළොන්නරුවට ගෙනෙන ලදී. එතුමා විසින් මෙහි දළදා මාලිඟාවක් තනවා ධාතුන් වහන්සේලා මෙහි තැන්පත් කරවන ලදී. එතුමා විසින් නිර්මාණය කර වූ ප්‍රධාන විහාර සංකීර්ණය පොළොන්නරුවේ දළදා මළුවයි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී මෙය වැඩි දියුණු වූ අතර, වැව්, විහාරාරාම, රාජකීය මාලිඟා ආදිය ද පොළොන්නරුවේ නිර්මාණය විය. එසේම මෙම දළදා මළුව නිශ්ශංක මල්ල රජුගේ කාලයේ දී තවත් සංවර්ධනය වින.
දළදා මළුව අංග ගණනාවකින් සමන්විත විය. පහත සිතියමේ දැක්වෙන්නේ එම අංගයන්ය.
- ඇතුළුවන දොරටු
- නිශ්ශංක මල්ල රජු තැනු දළදා ගෙය
- පළමුවන විජයබාහු රජු තනු දළදා ගෙය
- වටදාගේ
- බෝධිසත්ව රුව
- ථුපාරාමය
- බෝධිඝරය
- ඔත් පිළිමය
- විහාරය, උපොෂතාගාරය
- ගල් පොත
- සත් මහල් ප්‍රසාදය
නිශ්ශංකමල්ල රජු තැනු දළදා ගෙය – හැටදාගේ
හැටදාගේ, දිග අඩි 120ක් හා පළල අඩි 90ක් පමණ භුමි ප්‍රමාණයක, කැටයම් කෙරුණු ගල් බිත්තිවලින් තැනුණු ප්‍රවේශ ශාලාවකින් හා ඇතුළු කුටියකින් සමන්විත ගොඩනැඟිල්ලකි. මෙය මහල් දෙකකින් සමන්විතව තිබී ඇත. උඩු මහල දැවයෙන් තනා තිබෙන්නට ඇති අතර එහි දන්ත ධාතුව, පාත්‍රා ධාතුව හා අනෙකුත් ධාතුන්වහන්සේලා තැන්පත් කර තිබෙන්නට ඇත. පහත මාලය බුදු මැදුරක් ලෙස භාවිත කළ බව පෙනේ. මෙම ගෘහය තුළ හිටි බුද්ධ ප්‍රතිමා තුනකි.
මෙය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් බවත්, නිශ්ශංක මල්ල රජු එය අලුත්වැඩියා කළ බවත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා කියයි. බිත්තිවල අලංකාර කැටයම් හා නිශ්ශංක මල්ල රජු වර්ණනා කෙරෙන ශිලාලේඛන පිහිටුවා ඇත. මෙම ගොඩනැඟිල්ල පැය හැටක් ඇතුළත නිමවන ලද බවක් කිය වේ. එහෙයින් මෙය හැටදාගේ යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. මෙහි ධාතුන් වහන්සේලා හැට නමක් තැන්පත්කොට තිබු හෙයින් හැටදාගේ කියූ බවක්ද කියති. මෙම ගොඩනැඟිල්ලේ සඳකඩ පහනේ සිංහ රුපය දක්නට ලැබීම විශේෂත්වයකි. මේ යුගයේ අනෙකුත් සඳකඩ පහන්වල සිංහ හා වෘෂභ රුප දක්නට නැත.
හැටදාගේ
කැටයම් හා ශිලා ලිපි සහිත බිත්ති
සඳකඩ පහන
බුද්ධ ප්‍රතිමා
පළමු වැනි විජයබාහු රජු තැනු දළදා ගෙය : අටදාගේ
දළදා මළුව තුළ ඇති පැරණිතම ගොඩනැඟිල්ල වන මෙය අඩි 75ක් දිග හා අඩි 45ක් පළලින් යුක්ත ය. කොරවක් ගල් සහිත පිය ගැටපෙළක්, අන්තරාලයක් හා ගර්භ ගෘහයක් මෙහි දක්නට ඇත. මෙහි දැනට ශේෂව ඇත්තේ ගල් කුළුණු 60ක් පමණ ප්‍රමාණයක් පමණි. මේ සමහර කුළුණුවල, කල්පලතා මෝස්‌තර, වාමන රුප, නාට්‍යන්ගනාවන්ගේ රුප, බෝධිසත්ව රුප ආදිය කැටයම් කොට තිබෙනු පෙනේ. මහා විජයබාහු රජතුමා විසින් තනන ලද මෙය මහල් දෙකකින් යුක්තව තිබී ඇත. ඉහළ මහල දැවයෙන් තනා උළු සෙවිලිකර තිබුනා විය හැකිය. දන්ත ධාතුන්වහන්සේ හා පාත්‍රා ධාතුව මෙහි ඉහළ මහලේ තැන්පත්කොට තිබෙන්නට ඇති අතර බිම් මහල බුදු ගෙයක් ලෙස භාවිත කරන්නට ඇත. මෙය ඉදිකිරිම සඳහා වෙනත් ගොඩනැඟිලි වලින් කොටස් ගෙනවිත් ඇත.
මිට අටදාගේ යනුවෙන් ව්‍යවහාර කරනුයේ පැය අටකින් හෝ දින අටකින් නිමකළ බවක් කියවෙන නිසා හෝ මෙහි ධාතුන් වහන්සේලා අටනමක් තැන්පත්කොට තිබු නිසා වන්නට පුළුවන. මේ ආසන්නයේ වේලක්කාර දෙමළ සෙල්ලිපිය ද දක්නට ඇත. එහි දැක්වෙනුයේ දළදා ගෙයි ආරක්ෂාව වේලයික්කාර හමුදාව භාරයේ තිබුණු බවයි. අටදාගෙය ප්‍රතමාභිශේකය සඳහා ද පාවිච්චි කළ බව කියති.
අට දාගේ
කල්ප ලතා කැටයම් සහිත කුළුණු
වේලක්කාර දෙමළ සෙල්ලිපිය
වටදාගේ
වටදාගේ පොළොන්නරුවේ දළදා මළුවේ පිහිටි වැදගත් හා අලංකාර ස්මාරකයයි. නිශ්ශංක මල්ල රජුට පෙර මෙය ඉදිකර ඇති අතර නිශ්ශංකමල්ල රජු විසින් නැවත ප්‍රතිසංස්කරණය කොට ඇත. වෘත්තාකාර ගොඩනැඟිල්ලක් වන මෙහි විෂ්කම්භය අඩි 120කි. පොලව මට්ටමේ සිට උස අඩි 4 අඟල් 6කි. සිව් දෙසින් මෙයට ඇතුළු වීමට තනා ඇති පියගැටපෙළ අලංකාර කැටයමින් යුක්ත ය. සඳකඩ පහන්, දෙපස මුරගල් වලින් හා වාමනයන් දරා සිටින මකර වැටවලින් යුක්ත ය. මධ්‍යයේ සිව් දිසාවන්ට මුහුණ ලා ඇති බුද්ධ ප්‍රතිමා හතරකට මැදිව පිහිටි ස්තුපයකි. වහලයක් තැනීම සඳහා පිහිටුවා ඇති ශෛලමය කුළුණු පේලි දෙකක් තිබී ඇත දැනට ඉතිරිව ඇත්තේ එක පේලියක් පමණි. පිටත වටයේ පිහිටි මෙම ගල් කුළුණු අතර අඩි 2 අඟල් 9ක් උසට තැනු ප්‍රාකාර බැම්මකි. මෙය මල් මෝස්‌තර වලින් අලංකාර කොට ඇත. කුළුණු පේලි අතර ඇති ගඩොළු බිත්තිය ආරක්ෂිතව තිබෙනු දැකිය හැකි ය.
මෙහි ඇති බුද්ධ ප්‍රතිමා ලක්ෂණ මෙම ස්ථානයටම ආවේනික වුවකි. ප්‍රතිමා වල ශීර්ෂය, සිවුර නිමකළ ඇති ආකාරය අන් ස්ථාන වල ප්‍රතිමා වලට වඩා වෙනස්ය. සඳකඩ පහෙණෙහි ද අනුරාධපුර යුගයේ සඳකඩ පහන්වල දක්නට ඇති වෘෂභ රුපය දක්නට නැත. ඒ හින්දු ආගමේ වෘෂභ රූපය දේවත්වයේ ලා සැලකූ නිසා විය හැකි ය. වෘෂභ රූපය මුරගල පසෙක කැටයම් කොට තිබෙනු පෙනේ.
වටදාගේ
මුරගල් හා පඩි
සඳකඩ පහන
මුරගල්
මල් කැටයම්
බුදු පිළිම
කොරවක් ගල්
මුරගල පසෙක වෘෂභ රුපය
බෝධිසත්ව රුව
වටදාගෙයට පසෙකින් පිහිටුවා ඇති පිළිමය බෝධිසත්ව රුවක් හෝ නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතිමාවක් යයි විස්වාස කෙරේ.
ථුපාරාමය – පිළිම ගෙය
මේ පිළිමගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකු වූ මහින්ද නැමැත්තා ඉදිකෙළේ ද, නැතහොත් විජයබාහු රජු ඉදිකලාදැයි අවිනිශ්චිත ය. මෙය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයකි. මෙය වක්‍රාකාර ගඩොළු වහලක් සහිතව අවුරුදු 900කට වඩා කාලයක් හොඳින් ආරක්ෂා වී ඇති ගොඩනැඟිල්ලකි. මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහ යන අංග වලින් සමන්විතය. පිටත බිත්ති විමාන වර්ගයේ රූකම් වලින් අලංකාර කොට ඇත. මේ පිළිම ගෙයි ගඩොළින් නිම වූ හිඳි බුදුපිළිමයක් තිබී ඇත. ශෛලමය හිටි බුදු පිළිමයක් දක්නට ඇත.මේ බුදු පිළිමයේ නේත්‍ර මැණික් ගල්වලින් පිහිටුවා තිබු බවත්, ජනෙල වලින් හිරු රැස් ඊට පතිතවන ආකාරයට නිමවා තිබු බවත් කියති. මෙහි බිත්ති අඩි 7ක් පමණ පළලය.
හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක්
බෝධිඝරය
ථුපාරාමය අසල ඇති කුඩා ගොඩනැඟිල්ල බෝධිඝරයක නටබුන් යයි විශ්වාස කෙරේ.
ඔත් පිළිමය
ගඩොළින් නිමකළ ප්‍රාකාරයක් සහිත නටබුන් සැතපෙන පිළිමය තිබු ගොඩනැඟිල්ලයි. මෙහි පිළිමය ගඩොළින් හා බදාමයෙන් නිමකොට වර්ණාලේපිත කර තිබෙන්නට ඇත. දැනට ශේෂව ඇත්තේ ගඩොළු ආකෘතියක් පමණි.
විහාරය, උපොෂතාගාරය
දළදා මළුවේ කෙළවරක විහාරයක් හෝ උපොෂතාගාරයක නටබුන් දක්නට ඇත.
නිශ්ශංක ලතා මණ්ඩපය
නෙලුම්මල් සහිත දඬු මෙන් පෙනෙන අඩි 8ක් පමණ උස කුළුණු වලින් සමන්විත වේදිකාවක් මත ගොඩනංවන ලද අඩි 34 අඟල් 3ක් දිග හා අඩි 28 අඟල් 6 පළල ගොඩනැඟිල්ල නිශ්ශංක ලතා මණ්ඩපය ලෙස හැඳින්වේ. ගොඩනැඟිල්ල මැද කුඩා දාගැබකි. ගල් ගරාදි වැටකින් වටකර ඇත. නිශ්ශංකමල්ල රජු මෙහි සිට පිරිත් ඇසු බව මෙහි ශිලා ලේඛනයක දැක්වේ.
නිශ්ශංක ලතා මණ්ඩපය
ගල් පොත
මිහින්තලේ ප්‍රදේශයෙන් ගෙනවිත් ඇති දිගින් අඩි 26 අඟල් 10ක්, පළලින් අඩි 4 අඟල් 7ක් හා ඝනකමින් අඩි 2ක් පමණ විශාල ගල් පුවරුවක පේලි 72ක අකුරු 4,300කට වැඩි ගණනකින් සෙල් ලිපියක් නිශ්ශංකමල්ල රජු විසින් කොටවා ඇත. දිගු අතට දෙපස හංස පේලි දෙකක් හා පළල අතට දෙපස ජලය වත්කරන ඇතුන් දෙදෙනෙකු හා පියුමක් අතින්ගත් ගජ ලක්ෂ්මි දේවිය කැටයම් කොට ඇත. නිශ්ශංකමල්ල රජුගේ පරපුර, ඔහුගේ වීරක්‍රියා, පින්කම් හා විදේශ රටවල් සමග පවත්වන ලද සබඳතා ආදිය ගැන මෙහි සඳහන්වේ.
ගල් පොත
ගජ ලක්ෂ්මි
සත් මහල් ප්‍රාසාදය
අඩි 30ක් පමණ උස ක්‍රමයෙන් ඉහළට පටු වී යන මහල් හතකින් යුත් හතරැස් පිරමිඩාකාර ගොඩනැඟිල්ලක් දළදා මළුව ඊසාන පැත්තේ ඇත. මෙය කුමක්දැයි තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත. තායිලන්තයේ මෙන් මෙය දාගැබක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
සත් මහල් ප්‍රාසාදය
මානව නිර්මාණ ශිල්පීය දක්ෂතා, හෙළිවන සංස්කෘතික සාම්ප්‍රදාය හා කැපීපෙනෙන විශ්වීය වැදගත්කම ආදී කරුණු සලකා 1982 සිටම UNESCO සංවිධානය විසින් දළදා මළුව ද ඇතුළු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ශ්රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 10 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය II/III – ජීවනෝපාය, හුවමාරුව, ජනාවාස, අභිචාර හා වාස්තුවිද්‍යාව
චන්දිම බණ්ඩාර අඹන්වල
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
ජීවනෝපාය


ලංකාවේ මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා මානවයාගේ ආහාර රටාව පිළිබඳ ව තොරතුරු අතුරින් බොහෝමයක් පහතරට වියළි කලාපයේ පිහිටි පුරාවිද්‍යා ස්ථානවල හා තෙත් කලාපයේ වූ ගල්ලෙන් තුළ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය කරගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. බුලත්සිංහල ෆා-හියං ලෙන, කුරුවිට ආසන්නයේ පිහිටි බටදොඹලෙන හා අවිස්සාවේල්ල ආසන්නයේ පිහිටි කිතුල්ගල බෙලිලෙන යන ගල්ලෙන් තුළ අවස්ථා ගණනාවක දී සිදුකරන ලද විධිමත් පුරාවිද්‍යා කැනීම් මඟින් මේ හා සම්බන්ධ සාධක බොහෝමයක් අනාවරණය වී ඇත. එකී සාධක අනුව පොදුවේ සලකා බැලූ විට, අතට අසුවන සෑම සතෙක්ම මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා බලංගොඩ මානවයාගේ ආහාර වශයෙන් යොදාගෙන ඇති බව පැහැදිළි වෙයි. තවත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම්, ගෙවල වාසය කරන බටු මීයාගේ සිට ඇත් පැටවා දක්වා පුළුල් පරාසයක් නියෝජනය කරන සත්ව ගහණයක් මඟින් බලංගොඩ මානවයාගේ සත්ව ආහාර නියෝජනය කරනු ලැබේ. මූලික අධ්‍යයන අනුව ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට අවසානය දක්වා මෙම ආහාර රටාව කැපී පෙනෙන වෙනසක් දක්නට නොලැබේ.
මධ්‍යශිලා මානවයා තම ආහාර සඳහා එක්කරගත් සතුන් අතුරින් වැඩිපුර හඳුනාගත හැකි වන්නේ දඬුලේනා, මීමින්නා, ඉත්තෑවා, හම්බාවා, උරුළෑවා, කබල්ලෑවා හා වඳුරා වැනි සතුන් ය. මෙම සතුන් ප‍්‍රමාණයෙන් කුඩා මෙන් ම වෙනත් විශාල සතුන්ට සාපේක්‍ෂව අල්ලා ගැනීමේ පහසුව මෙම බහුලතාව සඳහා නිතැතින් හේතු වන්නට ඇත. වල් ඌරා හා ගෝනා වැනි මධ්‍ය ප‍්‍රමාණයේ විශාල සතුන් ගේ නියෝජනය මුල් කොටසට වඩා අඩු ය. එමෙන් ම ගව වර්ගයට අයත් විශාල සතුන් ගේ නියෝජනය සාපේක්‍ෂකව බෙහෙවින් ම අඩු ය. ඒ අනුව පෙනී යන්නේ සතුන් ආහාරයට ගැනීමේ දී රුචිකත්වය හෝ සංස්කෘතික හේතු බල නොපාන ලද අතර සතුන් අල්ලා ගැනීමේ පහසුව අනුව ආහාර සඳහා එක් වූ සත්ව වර්ගයන් හා ඒවායේ නියෝජනයන් තීරණය වූ බවයි.
බලංගොඩ මානවයා විසින් ආහාරයට ගනු ලැබූ සතුන් අතර අලි පැටව්, ගවරා, කුළු මිහරකා, කළු වලහා, ඌරා, ගෝනා, තිත් මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඬු ලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වඳුරා, වළි කුකුළා, හබන් කුකුළා, පිඹුරා, තලගොයා, ඉබි වර්ග, තරු ඉබ්බා, සර්පයෝ (පිඹුරා, ගැරඬියා වැනි), තිත්තයා, ලූලා වැනි මිරිදිය මාළු වර්ග, මිරිදිය කකුළුවෝ, ගොඩබ්ම් හා ගස් ගොළුබෙල්ලෝ පොදුවේ නියෝජනය වේ.
2005 වසරේ දී පමණ බුලත්සිංහල ෆා-හියන් ලෙන තුළ සිදු කරනු ලැබූ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වූ සත්ව අවශේෂ ලංකාවේ මධ්‍යශිලා නැතිනම් ක්‍ෂූද්‍රශිලා මානවයාගේ ආහාර ගොන්න පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා පුළුල් වපසරියක් විවර කරනු ලැබ ඇත. ආචාර්ය සිරාන් දැරණියගලගේ උපදේශකත්වය හා ආචාර්ය එච්. නිමල් පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ එකී කැනීමේ දී අනාවරණය වූ සතුන්ගේ අස්ථි සාධක ප‍්‍රවීන පුරා සත්ව විද්‍යාඥ එච්. ජූඞ් පෙරේරා විසින් විශ්ලේෂණය කරනු ලදුව පහත දැක්වෙන සත්ව විශේෂ ඒ අතර නියෝජනය වන බව හඳුනාගෙන ඇත.
ක්‍ෂීරපායි සත්වයින් අතර කුළු මී හරකා, ගෝන මුවා, ගෝනා, ඕලූ මුවා, මීමින්නා, වල් ඌරා, අලියා, කොටියා හෙවත් දිවියා, හඳුන් දිවියා, කොළ දිවියා, උගුඩුවන් විශේෂ, හෝතබුවන් විශේෂ නියෝජනය වන බව පැහැදිලි වී ඇත. එ මෙන් ම තවදුරටත් උරුලෑවා, නරියා, කොළ වඳුරා, රිලවා, උණහපුළුවා, කබැල්ලෑවා, වල් හාවා, ඉත්තෑවා, දඬුලේනා, මූකලන් ලේනා, ඌරු මීයා, වැලි මීයා හා ගෙවල් මීයා වැනි සතුන් ද හඳුනාගත හැකි ව පවතී. මෙම සත්ව නියෝජනයේ දී උරගයින් අතර කිඹුලා, තලගොයා, කබරගොයා, කටුස්සා, පිඹුරා, හඳුනා නොගත් සර්ප විශේෂ, ගල් ඉබ්බා, කිරි ඉබ්බා හා ගෙම්බන් විශේෂ කීපයක් හඳුනාගනු ලැබ ඇත. ඉහත දැක් වූ කැනීමෙන් අනාවරණය වූ පක්‍ෂී අවශේෂ අනුව වලි කුකුළා හා නිශ්චිතව හඳුනාගත නොහැකි පක්‍ෂී විශේෂ ගණනාවක් ආහාර වශයෙන් එක්කරගෙන ඇති බව තහවුරු වී ඇත.
මධ්‍යශිලා මානවයා තම ආහාර සඳහා මිරිදිය හා කරදිය යන දෙ වර්ගයටම අයත් මතස්‍යය විශේෂ රැස්කිරීමට ඇත. මිරිදිය මතස්‍යය විශේෂ අතර ලෙහෙල්ලා, අංකුට්ටා, හුංගා, මුගුරා හා කණයා වැනි මතස්‍යයන් ද කරදිය මසුන් අතර කොටි මෝරා, අගුලවා හා හඳුනා නොගත් මසුන් වර්ග කීපයක ම සාධක දැකගත හැකි ව පවතී. මධ්‍යශිලා ආහාර ගොන්න නියෝජනයේ පැවති බෙල්ලන් ගොඩබිම වාසය කරන බෙල්ලන් හා වතුරේ වාසය කරන බෙල්ලන් යන වර්ග දෙක ම නියෝජනය කරන ආකාරය ලැබී ඇති නිදර්ශන තුළින් පැහැදිලි වේ. ගොඩ බෙල්ලන් වශයෙන් Acavus superbus, Acavus phoenix, Acavus heamastoma, Acavus sp., මුක්කන් බෙල්ලා, Oligospira poleii, Cyclophorus sp., Aulopoma sp. හා Tortulosa sp. වර්ග දැකගත හැකි අතර දිය බෙල්ලන් අතර Paludomus neritoides, Paludomus loricatus, Paludomus sulcatus හා Pila sp. වැනි වර්ග ද නියෝජනය වේ.
ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයාගේ ආහාර රටාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ප‍්‍රාග් ඉතිහාසඥයින් අතරේ අවධානයට ලක් වී ඇති වැදගත් හා විවාදපන්න කරුණක් වන්නේ ඒ ආහාර ගොන්න අතර මිනිමස් පරිභෝජනය පිළිබඳ සාධක අන්තර්ගත වී ඇද්ද යන කරුණයි. ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයන්හි අනාවරණය වී ඇති මානව අස්ථි කුඩා කැබලි වශයෙන් හෝ පිලිස්සීමට ලක් වී අනාවරණය වීමත් ඒවා මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සමඟ මුසු වී පැවතීමත් මෙවැනි මතයත් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය අනුබලය පුරාවිද්‍යාඥයින්ට සපයා ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් සමහර විද්වතුන් පෙන්වා දී ඇත්තේ මානව අවශේෂ කෙරෙහි විශේෂයක් සිදු එම මාංශ ද මේ කාලයේ මානවයින් ආහාර සඳහා එක්කර ගැනීමට ඇති බවයි. තවත් අතකට මිනිස් අස්ථි පිළිබඳ විශේෂයක් සිදු නොකර ඒවාද මුළුතැන්ගෙයි අපද්‍රව්‍යය සමඟ ඉවතලෑම නිසා මෙසේ එම අපද්‍රව්‍යය සමඟ හමුවන බවත් එයින් මිනීමස් පරිභෝජනය පිළිබඳ අදහසක් ඇතිකරගත නොහැකි බවත් ය.


ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා මානවයා විසින් ආහාරයට ගනු ලැබූ ශාක ආහාර පිළිබඳ විධිමත් හා ප‍්‍රමාණවත් ද්‍රව්‍යාත්මක සාධක පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යාඥයින් මේ දක්වා සමත් වී නොමැත. එහෙත් ලංකාවේ මෙන් ම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ පිළිබඳ සිදුකරන ලද මානවවංශ විද්‍යා ගවේෂණ අනුව මානවවංශ සාදෘෂ්‍ය අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ආහාර වර්ගයක් ම තම ආහාර සඳහා යොදාගත් බවට සැකයක් නොමැත. ඒ අනුව ආහාරයට දික්කැකුණ ඇට (Canarium zeylanicum), වල් දෙල් (Artocarpus nobilis), කිතුල් (Caryota urens) හා ඇටි කෙහෙල් (Musa paradisika) යන ඇට වර්ග ද ගොනල (Dioscorea spicata), කටු අල (Dioscorea pentaphylla) හා බුත්සරණ (Mussaenda frondosa) යන අල වර්ග මෙන් ම ඇටඹ (Mangifera zeylanica), ලාවුළු (Chrysophyllum roxburghii) හා තිඹිරි (Diospyros peregrina) වැනි සුබුලු වර්ග ද එක්කර ගන්නට ඇත. ආහාරය සඳහා එක්කර ගන්නට ඇති මද වර්ග අතර බුළු (Terminalia belerica) හා මඩු (Cycas circinalis) පවතින්නට ඇත. මෙම ශාකමය ආහාර ගොන්න තුළ ඇති පළතුරු වර්ග අතර උගුරැස්ස (Flacourtia ramontchi), පළු (Manilkara hexandra), වීර (Hemicyclia sepiaria), දිවුල් (Feronia elephantum), වෙරළු (Elaeocarpus serratus), මොර (Cryptocarya wightiana), දොතළු (Loxococcus rupicol), වරක (Casearia esculenta), ගල් සියඹලා (Dialium ovaideum), මොර (Nephelium longana), හිඹුටු (Salecia reticulata), කොන් (Schleichera oleosa), කිරිල්ල (Sonneratia acida), මාදන් (Syzygium cumini), බුළු (Terminalia belerica), කිරි කෝන් (Walsura piscidia) හා හීන් එරමිණියා (Zizyphus oenophia) වැනි පළතුරු වර්ගත් මී (Bassia longifolia) වැනි මල් වර්ග ද පවතින්නට ඇත.
මෙම සියලුම දත්ත විග‍්‍රහ කර බැලීමේ දී ශ්රී ලංකාවේ මධ්‍යශිලා මානවයාට තම ආහාරය වශයෙන් සමබර ආහාර වේලක් ලැබීමට ඇති බව උපකල්පණය කළ හැකි ය.


බලංගොඩ මානවයාට අයත් දත් පිළිබඳ සුපරික්‍ෂා වීමේ දී ඒවායේ සැලකිය යුතු ගෙවී යාමක් සිදු වී ඇති බවට අවස්ථා ගණනාවක දී ම පැහැදිලි සාධක දැකගත හැකි වේ. මේ පිළිබඳ බෙහෙවින් ප‍්‍රකට නිදර්ශක ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලැස්ස හා කුරුවිට බටදොඹලෙන වැනි ප‍්‍රාග් ඓතිහාසික ස්ථානවලින් ලැබී ඇත. මෙම දත්වල පවත්නා අසාමාන්‍ය ගෙවී යාම පැහැදිලි කරගැනීමේ දී උපකල්පනය කළ හැක්කේ ඔවුනගේ ආහාර වේල තුළ වැලි මිශ‍්‍ර ආහාර බහුල වූ බවයි. ශාකමය ආහාර ඇඹරුම් ගල්වලින් ඇඹරීමේ දී එ ලෙස වැලි ආහාරයට එක් වීමට ඇත. එ මෙන් ම මස් ඇතුළු ආහාර පෙර සකස් කරගැනීමකින් තොරව භක්‍ෂණය කිරීමේ දී ඒවායේ පවත්නා දැඩි බව මෙන්ම පොළොවෙන් සාරාගන්නා අල වර්ග සොදා පිරිසිදු කරගැනීමෙන් තොරව භක්‍ෂණය කිරීම ද දත්වල ගෙවී යාම සඳහා අඩුවැඩි වශයෙන් හේතු වන්නට ඇත. ලංකාවේ විවිධ ස්ථානවලින් මේ දක්වා ලැබී ඇති බලංගොඩ මානව දන්ත සාධක විශ්ලේෂණය කළ භෞතික මානවිද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති තවත් කරුණක් වන්නේ මෙම ජනයාගේ දත් ආශ‍්‍රිත රෝග බෙහෙවින් අඩු බවයි. ලංකාවේ දඩයක්කාර රැස්කරන්නන් වන වැද්දන් මෙන් ම මධ්‍යශිලා මානවයා ද විවිධ ගස්වල පොතු වර්ග විකීමට හුරු වී සිටීම මේ සඳහා බලපා ඇතැයි සිතිය හැකි වේ.
හුවමාරුව
බෙල්ලන්බැඳිපැලැස්ස, කබරගල්ගේ, කිතුල්ගල බෙලිලෙන හා බටදොඹලෙන යන ස්ථානවලින් මුහුදේ වාසය කරන බෙල්ලන්ට අයත් බෙලිකටු හමු වී ඇත. බටදොඹලෙන අදින් වසර 19,000කට පෙර කාලයට අයත් පස් ස්ථරයකින් මඩු වලිගයක් ලැබී ඇති අතර අදින් වසර 16,000කට කාලනීර්ණය කර ඇති පස් ස්ථරයකින් මුහුදු බෙලිකටුවක් ලැබී ඇත. (මේවා ලුණු සමඟ මිශ‍්‍ර වී ආ කලපු බෙල්ලන් ලෙස හඳුනාගෙන ඇත.) ලුණු සමඟ හමුවන ලුණු බෙල්ලන්ගේ කොටස් කිතුල්ගල බෙලිලෙනින් අදින් වසර 30,000කට පෙර කාලයට අයත් පස් ස්ථරයන්ගෙන් හමු වී ඇත. කිතුල්ගල බෙලිලෙනට ලුණු තැම්පතු ඇති ආසන්නම ස්ථානය ඇත්තේ කිලෝමීටර් 80ක දුරිනි. ඒ අනුව මෙම කලපු බෙල්ලන් රට තුළ වූ ගුහා තුළට පැමිණිම න්‍යායාත්මක පදනමකින් තේරුම් ගැනීම වැදගත් වේ. මේ සලකා බලන කාලයේ දී අවම වශයෙන් මුහුදු සීමාවන් මෙකී පුරාවිද්‍යා ස්ථානයන් වෙත සමීපව නොතිබීම හේතුවෙන් මුහුදු සීමාවේ සිට මේ දක්වා ගෙන ආ ලුනු සමඟ මෙකී බෙල්ලන් පැමිණිමට ඇතැයි යන්න තීරණය කළ හැකි වේ. ඒ අනුව මෙකී ස්ථානවල වාසය කළ ජනයා ලුණු භාවිතය පිළිබඳ දැනුවත්ව සිටි බවත් කාලයෙන් කාලයට ලුනු තැම්පතු වෙත ගොස් ඒවා ගෙනඑන්නට හෝ යම්කිසි හුවමාරු ක‍්‍රියාවලියක් තුළින් මේ වෙත ලඟා වෙන්නට ඇතැයි සිතිය හැකි වේ. මේ පිළිබඳ තවදුරටත් විමසා බැලීමේ දී මුහුදේ වාසය කරන මඩු මාළුවා, කොටි මෝරා මෙන් ම විවිධ බෙල්ලන් පිළිබඳ සාධක ද රට මැද පිහිටි ගුහාවන්හි සන්දර්භ තුළින් අනාවරණය වීම හේතුවෙන් හුවමාරුව පිළිබඳ පුළුල් කරුණු අනාවරණය කරගත හැකි වේ.
ජනාවාස
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජනයා ලංකාව පුරාම තම වාසස්ථාන බිහි කරගෙන සිටි බවට සැක නැත. මිනිස් වාසය සඳහා නුසුදුසු පරිසර තත්ත්වයන් සහිත පරිසර කලාප හෝ මිනිසාට ලඟා විය නොහැකි පාරිසරික බාධක සහිත ස්ථාන ලංකාවේ නොමැති බැවින් ඕනෑම ස්ථානයක මිනිසුන් වාසය කිරීමට අවස්ථාව ඇත. අනෙක් අතට ලංකාවේ යම් ස්ථානයක සිට තවත් ඕනෑම ස්ථානයක් දක්වා කෙටි කාලයකින් ලඟා වීමේ හැකියාව ද පවතී. එ බැවින් මෙම දිවයිනේ සෑම තැනකම මිනිස් වාසය සඳහා සුදුසු වන්නට ඇතිවාක් මෙන් ම සෑම ස්ථානයක් ම මිනිස් ජනාවාස වශයෙන් භාවිත වන්නට ද ඇත. මේ දක්වා සිදුකර ඇති පුරාවිද්‍යා ගවේෂණ හා අධ්‍යයන අනුව ලංකාවේ පිහිටි ස්ථාන වර්ග අනුව ජනාවාස ස්ථාන වර්ගකර හඳුනාගත හැකි ව පවතී. ඒ අනුව, ඉරණඩු පස් තට්ටුවේ හා වෙනත් ස්ථානයන්හි ස්ථාපිත වී ඇති එළිමහන් ජනාවාස ස්ථාන හා තෙත් කලාපයේ හා අනෙකුත් ස්ථානයන්හි ඇති ගල්ලෙන් හා ගල් පියැසි යනුවෙන් මධ්‍යශිලා ජනාවාස හඳුනාගත හැකි වේ. ඉරණමඩු පස් තට්ටුවට අයත් ස්ථාන ගණනාවක් හඳුනාගෙන ඇති අතර අනෙකුත් එළිමහන් ජනාවාස වශයෙන් ඇඹිලිපිටිය ආසන්නයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස, පල්ලේමළල, අම්බලංතොට ආසන්නයේ පිහිටි මිණීඇතිළිය, මාතොට හෙවත් මන්නාරම, අනුරාධපුර ඇතුළු නගරය, උස්බිම් කලාපයට අයත් වූ මහඑළිය හෙවත් හොර්ටන් තැන්න, පල්ලිය ගොඩැල්ල (චර්ච් හිල්) වැනි ස්ථාන පුරාවිද්‍යාඥයින්ගේ අධ්‍යයනයට බඳුන් වී ඇත. ලංකාවේ තෙත් කලාපයට අයත් ස්වභාවික ගල් ලෙන් වූ කුරුවිට අසළ බටදොඹලෙන, අවිස්සාවේල්ල කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, වරකාපොල දොරවකකන්ද, අත්තනගල්ල පොත්ගුල්ලෙන, ගම්පහ වාරණ, කූරගල, රාවණාඇල්ල ගුහාව වැනි ගුහා මධ්‍යශිලා ජනාවාස වශයෙන් බෙහෙවින් ප‍්‍රකට වී ඇත. තෙත් හා වියළි කලාපයන්ට අතරමැදි කලාපයේ වූ සීගිරිය අසළ පිහිටි අලිගල, පිදුරංගල හා පොතාන ගුහා ද මධ්‍යශිලා ජනාවාස ස්ථාන වශයෙන් කැනීමට ලක්කර සාරවත් ප‍්‍රතිඵල ලැබීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත.


අදින් වසර 28,500කට පමණ පෙර මධ්‍යශිලා යුගයේ කාලයේ දී ලංකාවේ තෙත් කලාපයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝ මීටරයට මිනිසුන් 0.1 පමණ ද වියළි කලාපයේ දී ජනගහණ ඝනත්වය වර්ග කිලෝ මීටරයට මිනිසුන් 0.8 සිට 0.25 දක්වා ද පවතින්නට ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව තෙත් කලාපයේ දී වර්ග කිලෝමීටර් 10ක කලාපයක් එක් මිනිසෙකු ද නැතිනම් වර්ග කිලෝමීටර් 50ක කලාපයක සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත එක් න්‍යස්ටික පවුලක් වාසය කරන්නට ඇත. දකුණු හා ගිණිකොණදිග ආසියාවේ වර්තමානයේ ජීවත්වන දඩයක්කාර රැස්කරන්නන් පිළිබඳ මානවවංශ විද්‍යාත්මක සාධක අනුව සංසන්දනය කිරීමෙන් ප‍්‍රාග් ඓතිහාසික ජනඝණත්වය වියළි කලාපයේ දී සෑම වර්ග කිලෝ මීටර් 10කට ම තනි පුද්ගලයෙකු හෝ සෑම වර්ග කිලෝමීටර් 50කටම එක් න්‍යෂ්ටික පවුලක් ජීවත් වන්නට ඇති බව පෙනී යයි. පහතරට වියළි කලාපයේ ජනඝණත්වය ඉහත ඇස්තමේන්තුවට වඩා හතර ගුණයක් පමණ වැඩි වන්නට ඇත. බොහෝ විට මෙම ජනයා ශාකමය ආහාරයන්ගේ ඵලදාව හා දඩයමට යෝග්‍ය සතුන්ගේ ව්‍යාප්තිය අනුව ක‍්‍රමික සංචාරක ජීවිතයක් ගත කිරීමට ඇති අතර ඒ අනුව වසරේ කලින්කලට තැනින් තැන ජනාවාස ඇතිකරගනිමින් සංචාරක ජීවිතයක් අනුව වාසය කරන්නට ඇත.
අභිචාර
මරණින් මතු පැවැත්ම නැතිනම් අධිස්වභාවික තත්ත්වයන් අරමුණු කරමින් සිදුකරන විවිධ ක‍්‍රියා අභිචාර වශයෙන් සරළව හඳුනාගත හැකි අතර ලංකාවේ මධ්‍යශිලා අවධියේ මානවයා ද විවිධ අභිචාර අරමුණු කරමින් විවිධ


ක‍්‍රියාකාරකම්වල යෙදුණු බවට ද්‍රව්‍යාත්මක සාධක ලැබී ඇත. ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස ස්ථාන තුළින් රතු හෝ කහ හිරියල් තැවරූ මිනිස් අස්ථි කොටස් හමු වී පවතී. කුරුවිට බටදොඹලෙනින් අදින් වසර 31,000 පැරණි පස් ස්ථර තුළින් කහවර්ණ ගුරුගල් තැවරූ මිනිස් කොදු ඇටයක් හා අදින් වසර 7,700 පමණ පැරණි පස් තට්ටු තුළින් ගුරුගල් ආලේපිත මිනිස් දත් ලැබී ඇත. අදින් වසර 5,400 පැරණි ෆා-හියන් ලෙනෙහි පස් තට්ටුවකින් රතු ගුරුගල් තැවරූ අස්ථි කොටස් හමු වී ඇත. රාවණා ඇල්ල ගුහාව කැනීමෙන් හමු වී ඇති හිස් මුදුනේ සිදුරක් හා එහි පසෙකින් සියුම් සිදුරක් සකස් කිරීමට උත්සාහ දැරූ රතු ගුරුගල් වර්ණ ආලේප කළ මානව හිස් කබල මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන නිදසුනකි. 2010 වසරේ දි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරි මහතාගේ අධ්‍යක්‍ෂකත්වයෙන් කැනීම් කළ ගම්පහ, අත්තනගල්ල අලවල පොත්ගුල් ලෙන කැනීමේ දී ද ඉහළ මට්ටමේ අවුල් පස් ස්ථරයකින් ලැබුණු හිස් කබල් කොටස ද මේ සම්බන්ධයෙන් පවතින වැදගත් නිදර්ශකයකි. මේ ලෙස ගුරුගල් ආලේප කිරීම සඳහා යොදාගෙන ඇත්තේ තෝරාගත් විශේෂ අස්ථි වීම ද සලකා බැලිය යුත්තකි. වර්තමාන ලංකාවේ වැද්දන් හෝ සිංහල ජනයා අතර මෙවැනි සිරිතක් පැවති බවට සාධක අනාවරණය වී ඇති බවක් ද පෙනී නොයාමෙන් අදිවාසි බලංගොඩ මානවයා අතර පැවති අභිචාරමය සංසිද්ධියක් වශයෙන් මෙකී කාරණාව විශේෂයෙන් හඳුනාගත හැකි ව පවති. නමුත් මෙකී කටයුත්තෙන් බලංගොඩ මානවයා කුමක් අදහස් කරන්නට ඇද්දැයි පැහැදිලි කිරීම අපහසු ය.
භූමදාන සිරිත්
මධ්‍යශිලා මානවයින් ගේ මෘතදේහ වැළලීම නැතිනම් ආදාහනය පිළිබඳ බෙල්ලන්බැඳිපැලැස්ස, කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන හා ෆා-හියන්ලෙන යන ස්ථානවලින් සාධක හමු වේ. 1956 සිට 1961 කාලයේ දී ඇඹිලිපිිිිටිය ආසන්නයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ පර්යේෂණ අනුව භූමදාන කළ මානවයින් 20කට වැඩි පිරිසකගේ සැකිලි සාධක අනාවරණය වී ඇති අතර ලංකාවේ ඒ ආකාරයෙන් වැඩිම මානව සැකිලි ප‍්‍රමාණයක් අනාවරණය වූ ස්ථානය වශයෙන් බෙල්ලන්බැඳිපැලැස්ස සැලකිය හැකි වේ. මෙම සාධක අතර ස්ත‍්‍රීපුරුෂ යන දෙ පිරිසටම අයත් සැකිලි හෝ සැකිලි කොටස් හමු වී ඇති අතර ඒ අතර වයස අවුරුදු 23-25 අතර මානව ශේෂ වැඩි ප‍්‍රමාණයක් පවතින බව හඳුනාගෙන ඇත. දරුවන්ගේ හා ළදරුවන්ගේ අස්ථි ශේෂ ද හඳුනාගත හැකි වුවත් වයස පිළිබඳ විශේෂයක් කොට ඇති බව පෙනී යන්නේ නැත.


අනාවරණය වී ඇති සාධක අනුව මෘතදේහ පොළොවේ ඒ තරම් ගැඹුරට වැළලූ බවක් දක්නට නොමැත. කිතුල්ගල බෙලිලෙන හා කුරුවිට බටදොඹලෙන සාධක අනුව නොගැඹුරු කුහරයක් තුළ වළදැමීම සිදුකොට එම ස්ථානය මුළුතැන්ගෙයි අපද්‍රව්‍යවලින් වසා දමා ඇත. කුරුවිට බටදොඹලෙන හා ෆා-හියන් ලෙන සාධක අනුව මෙම භූමදාන ද්වීතීය භූමදාන ලක්‍ෂණ හා අසම්පූර්ණ භූමදාන ලක්‍ෂණ නිරූපණය කරයි. එනම් මියගිය තැනැත්තා මුළින් වෙනත් ස්ථානයක වළ දමා එම මාංශ කොටස් දිය වී ගිය පසු තොරාගත් අස්ථි වාසය කරන ගුහාව වෙත ගෙනවිත් නැවත භූමදානය කළ බව පෙනී යයි. මෙ සඳහා බොහෝවිට ශරීරයේ පවත්වා දිගු අස්ථි තෝරාගෙන ඇති බව පෙනී යයි. එ මෙන් ම තෙත් කලාපයේ ගුහා තුළ බොහෝ විට හමු වන්නේ මානව සැකිලිවලින් කොටස් පමණක් වන අතර සම්පූර්ණ සැකිලි හමුවන්නේ කලාතුරකිනි. එ බැවින් මෙම භූමදාන අසම්පූර්ණ භූමදාන ලක්‍ෂණ පෙන්නුම් කරයි.
වාස්තු විද්‍යාව
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස පැවති ගල්ලෙන් තුළ ඉඩ සැලැසුම්කරණය පිළිබඳ ප‍්‍රමාණවත් සාධක තවම අනාවරණය වී නැත. ප‍්‍රාග් ඓතිහාසික සාධක ලැබෙන ලංකාවේ කිසිදු ගල්ලෙනක් ප‍්‍රමාණවත් හෝ සම්පූර්ණ වශයෙන් කැනීම් සිදුකර නොමැති බැවින් මේ පිළිබඳ සාධක මේ දක්වා පරිපූර්ණ වශයෙන් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී නැත. නමුත් මේ සම්බන්ධයෙන් මානවවංශ සාදෘෂ්‍යය අනුව අනුමාන වෙත එලැඹීමේ හැකියාව පවතී. දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ආදිවාසින් පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී ඔවුන් ජීවත් වූ පොදු ගල්ලෙන් තුළ සෑම පවුල් ඒකකයක් සඳහා ම නියමිත බිම් කොටසක් පැවැති බව හඳුනාගෙන ඇත. ඒ අනුව සෑම පුද්ගලයෙකු සඳහාම මීටර් 0.5ක පමණ වපසරියක් තිබූ බවත් සෑම පවුලක් සඳහාම නියමිත වෙනම ලිපක් තිබී ඇති බවත් තහවුරු වී ඇති බව ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දී ඇත. මේ හා සමාන තත්වයක් අදින් වසර 16,000කට පෙර කිතුල්ගල බෙලිලෙනේ පැවැති බවට සාධක ලැබී ඇති අතර ම විශ්කම්භය මීටර් 1ක පමණ ප‍්‍රමාණයකින් යුතු එකිනෙකට වෙන් වූ ලිප් තිබූ බවට ද සාධක ඇත.
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික වාස්තුවිද්‍යාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඒ පිළිබඳ පැරණිම සාධක ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා යුගයෙන් ලැබීම සැලකිය යුතු කරුණකි. අවිස්සාවේල්ල ආසන්නයේ ඇති කිතුල්ගල බෙලිලෙනින් අනාවරණය වී ඇති අදින් වසර 16,000ක් පමණ පැරණි බවට තහවුරු වී ඇති සක්කගල් බැම්ම මේ සම්බන්ධයෙන් වැදගත් සාධකයකි. අණ්ඩාකාර හැඩයක් ගන්නා මෙම සක්ක බැම්ම එක් ගල් වරියකින් නිමවා ඇත. මැටි බදාමයෙන් තොරව නිර්මාණය කර ඇති මෙහි කොළ අතු ආවරණයක් පවතින්නට ඇති බවට ආචාර්ය දැරණියගල විශ්වාස කරයි. කුරුවිට බටදොඹලෙන පනාබැම්ම මේ සම්බන්ධයෙන් ඇති අනෙක් සාධකයයි. ප‍්‍රධාන ගල්ලෙනට යාබද ගල් ආවරණයේ කෙලවර පිහිටා තිබූ හෙල්මළු බෑවුම අර්ධ වශයෙන් මතුකර ඇත. ලෙනේ පස් ගිලාබැසීම වැලැක්වීම සඳහා ගල්ලෙන් අන්තයේ නිර්මාණය කර ඇතැයි සිතිය හැකි මෙම බැම්ම සක්ක ගල් වරි දෙකකින් යුතු වූවකි.
ඉදිරි ලිපියෙන් : මධ්‍යශිලා කලාව හා භෞතික මානව විද්‍යාව
----------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.07.16 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය 2006
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය 2006
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)
අංක 1572/4 , 2008 ඔක්තෝබර් 20 වෙනි සඳුදා 2008.10.20
පටුන
1. හැඳින්වීම
2. අර්ථ දැක්වීම්
3. ප්‍රතිපත්තිමය ස්ථාවරය
(3.1) දැක්ම
(3.2) මෙහෙවර
(3.3) අරමුණු
(3.4) ක්‍රියාත්මක කිරීම
(3.5) ප්‍රමුඛතා
(3.6) නියාමන ව්‍යුහය
(4.1) ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය ඒකාබද්ධ කිරීම
(4.2) ආයතනික සහ මානව සම්පත් සංවර්ධනය
(4.3) ආරක්ෂාව
(4.4) ලේඛනගත කිරීම
(4.5) පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව මහජන දැනුම ප්‍රවර්ධනය
(4.6) පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක සහ චංචල පුරාවස්තු සංරක්ෂණය
(4.7) පර්යේෂණ
පෙරවදන
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මීට දශක කිහිපයකට පෙර ඉටු කළ යුතුව තිබූ අවශ්‍යතාවකි. මේ රටේ පුරවැසියන්ට අයත් සිය අතීත උරුමය පිළිබිඹුකරන ස්ථාන, ස්මාරක සහ පුරාවස්තු සුලභය. එබැවින් නොයෙකුත් ක්ෂේත්‍රවල සිදුවන සීඝ්‍ර සංවර්ධන කටයුතු මගින් පුරාවිද්‍යාත්මක දේපලවලට නිෂේධනාත්මක බලපෑමක් ඇතිවීම නොවැලැක්විය හැකිය. රටේ සංවර්ධන ව්‍යාපෘතීන්ට සහභාගි වන ආයතන සහ පුද්ගලයින් පුරාවිද්‍යාත්මක දේපල වෙත දක්වන ආකල්ප වල විවිධතාව මත ඒ වෙත ඇති විය හැකි හානිකර ප්‍රතිඵල වලක්වා ගැනීම සහ එවැනි ක්‍රියාවලි නියාමනය කිරීම සඳහා නීතිගත රාමුවක් අත්‍යවශ්‍යය. එමෙන්ම පුරාවිද්‍යාවේ වෘත්තීයභාවය නිසිපරිදි හඳුනා ගැනීමත් එය බල ගැන්වීමත් අවශ්‍යය. රටේ සංවර්ධන ක්‍රියාවලියත් රටේ පුරාවිද්‍යාත්මක උරුමය රැකගැනීමත් සමාන්තර ගත ක්‍රියාවලි දෙකක් බවට පත්කිරීම දිගුකාලීන වශයෙන් ප්‍රතිඵල ලබාදෙන කටයුත්තකි. මෙම ලේඛනයට ඇතුළත් යෝජිත ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රතිපත්ති පිළිබඳ මූලික තේමාවන්හි එම දැක්ම ඇතුළත්ය.
න්‍යායික සහ ප්‍රායෝගික වශයෙන් මෙම ප්‍රතිපත්තියට ඇතුළත් අදහස් කෙටුම්පත් කිරීම සංශෝධනය කිරීම සඳහා ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති කමිටුවේ සියලු සාමාජිකයෝ මහත් පරිශ්‍රමයක් දැරූහ. 2004 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මාස පහක පමණ කාලයක් කමිටුව මේ සඳහා වැය කලහ. ජාතික පුරාවිද්‍යා ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන මූලික පියවර සම්පාදනය කළ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට මේ පිළිබඳව ස්තූතිවන්ත විය යුතුය.
ආචාර්ය එස්.යූ. දැරණියගල
සභාපති
ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව
ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය
මූලික කෙටුම්පත
1. හැඳින්විම
පුරාවස්තු ආඥා පනත සහ එහි සංශෝධනවල නිර්වචනය කොට ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය සිය දහස් ගණනක් වූ පුරාවිද්‍යා ස්ථාන, පුරාණ ස්මාරක සහ චංචල පුරාවස්තු වලින් සමන්විතය.ජාතික සම්පතක් ලෙස එය රටේ අනාගත සංවර්ධනය සැලසුම් කිරීමෙහි ලා ඍජු අදාලතාවක් දක්වයි. ජාතියේ වර්තමානය හැඩගැස්වීමේ දී අතීතය මගින් බලපෑමක් ඇතිකරන්නේය යන්නත් ජාතියේ අනාගතය සැලසුම් කිරීම වර්තමානය මැනවින් ග්‍රහණය කරගැනීමෙන් තොරව කළ නොහැකිය යන්නත් යථාර්තයකි. මේ අදහස මගින් මඟ පෙන්වන්නේ සංවර්ධන සැලසුම් අත්‍යාවශ්‍යයෙන්ම අතීතය පිළිබඳ ගැඹුරු දැනුමක් මත පදනම් කළ යුතු බවත් සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත් කිරිමේ දී ජනතාවගේ සංස්කෘතික මාන වෙත අවධානය යොමුකරමින් සංස්කෘතික සංවර්ධනයේ පෙර ගමන්කරුවකු කළයුතු බවත්ය. ඕනෑම සමාජයක සංවර්ධනය කුමන අන්දමක ආර්ථීක සහ දේශපාලනික දිශානතියක් ඇති කවර තරාතිරමක ආර්ථීක වර්ධනයක දී වුව ද එහි සංස්කෘතියෙන් වෙන් කළ නොහැකි බව පසුගිය කාලය තුළ ලෝක ප්‍රජාව ලැබූ අද්දැකීම් මගින් පෙන්වා දෙයි. කුමන හෝ රටක් එහි සංස්කෘතික පරිසරය නොසලකා ආර්ථීක වර්ධනයක් ඉලක්ක කරන්නේනම් එහි ප්‍රතිඵලය වන්නේ ආර්ථීකයත් සංස්කෘතියත් අතර බියකරු අසමතුලිතතාවක් ඇතිවීමත් එමගින් සංස්කෘතියේ නිර්මාණාත්මක ශක්‍යතාවන් දුර්වල වීමත්ය. මේ නයින් අවසාන විග්‍රහයේ දී පෙනෙන්නේ සංවර්ධනයේ ප්‍රමුඛතා, නම්‍යතා සහ අරමුණු සොයා ගත යුතු වන්නේ සංස්කෘතිය තුළින් බවත්ය.
එහෙයින් සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සංවර්ධන උපාය මාර්ගවල ප්‍රධාන අංගයකි. සංවර්ධනය සංස්කෘතිය තුළ අන්තර්ගතව පවතින්නේය යන කරුණ පිළිබඳව ප්‍රතිපත්ති සැරසුම්කරුවන් සංවේදී විය යුතුය. මේ අනුව ප්‍රතිපත්ති නිර්ණායක සකස් කිරීමේ දී ඒවා ඒකාබද්ධ සමස්ථ ප්‍රවේශයක් මත වර්ධනය කිරීම වැදගත්වේ.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය ජාතියේ අතීතයට අයත් භෞතික අවශේෂ වලින් සමන්විතය. කෙනෙකු විසින් ඒවාට හානි කළහොත් හෝ විනාශ කලහොත් ඒවා ප්‍රතිස්ථාපනය කළ නොහැකිය. මේ කරුණ අවධානයට ගෙන සංවර්ධන සැලසුම්කරුවන් විසින් පුරාවිද්‍යාව රටේ සංවර්ධනයේ මූලිකාංගයක් ලෙස සලකා ඊට නිසි තැන ලබා දීම අවශ්‍යය.
අතීතයේ සිටම පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ජාතික වස්තූන් ලෙස සලකා මෙරට වැසියන් විසින් ආරක්ෂා කරනු ලැබ ඇත. නූතන අර්ථයෙන් ගත්කල ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක වෙත පුරාසක්තවාදීන්ගේ ක්‍රමානුකූල උනන්දුව මතුවන්නට පටන්ගත්තේ දහනමවන සියවසේ මැදභාගයේ දීය. එසමයේ දී දිවයිනේ ප්‍රධාන පැරණි ස්ථාන ක්‍රමානුකූල ලෙස ගවේෂණය කිරීමට රජය පෙලැඹිණි. 1980 දී පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලද්දේ එම කටයුතු පවත්වාගෙන යාම සහ නියාමනය කිරීමේ උපරිම ආයතනය ලෙසය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද දක්වා අදාළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යයි.
දහනමවන සහ විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණ කටයුතු වැඩිමනක්ම කේන්ද්‍රගත වූයේ ලිඛිත මූලාශ්‍රය මත පදනම් වූ ඵෙතිහාසික සොයා බැලීම් පිළිබඳ අභිලාෂයෙන් යුතුව පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක සොයා ගැනීම සහ ඒවා සංරක්ෂණය කිරීම මතය. විසිවන සියවසේ පසු භාගය වන තුරුම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ක්‍රියාත්මක වූයේ ඉතිහාසයට තදානුබද්ධවය. අභිලේඛන අධ්‍යයනය එහි ප්‍රධාන වැඩ කොටසක් ඉටු කළේය.
1960 දශකයේ පසුභාගයේ දී ශ්රී ලංකාවේ පුරාවිද්‍යාවට නව ක්‍රම සහ තාක්ෂණය හඳුන්වා දුන්නේය. මෙම වර්ධනය දිවයිනේ අතීතය පිළිබඳව එතෙක් පැවති දැක්ම වෙනස් කිරීමට හේතු විය. විශේෂයෙන්ම ශිෂ්ඨාචාරය බිහිවීමට පෙර මෙරට පැවති තත්වය එහිදී අවධානයට ලක් විය. කෙසේ වෙතත් එම වර්ධනයේ බලපෑම සීමිත විය. මේ අතර 1980 දශකයේ දී අනුරාධපුරය, සිගිරිය, පොළොන්නරුවේ සහ මහනුවර පුරාණ නාගරික සංකීර්ණවල සංරක්ෂණය අරමුණු කරගත් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සිය කටයුතු වල අරමුණු පුළුල් කළේය. මෙම තත්වය යටතේ කළමනාකරණයට සහ ක්ෂේත්‍ර කටයුතු වලට මහා පරිමාණ සම්පත් දායකත්වයක් අවශ්‍ය වූ අතර එහෙත් එය සපුරා ගන්නා ලද්දේ අවම අවශ්‍යතාව සපුරාගැනීමේ පදනමිනි. එහි දී ඉතා පැහැදිලිව පිළිබිඹු වූයේ එම ව්‍යාපෘති වල උපරිම කාර්යක්ෂමතාව සපුරා ගැනීමට සරිලන පරිදි මූල්‍යමය, ආයතනික සහ මානවසම්පත් යොදානොගත් බවයි. ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අප සතුව තිබෙන මූල්‍යමය, ආයතනික සහ මනුෂ්‍ය සම්පත් තර්කානුකූලව යොදා ගැනීමට අදාල වන උපරිම අවශ්‍යතාවකි. සියල්ලටම වඩා ඒ අතුරින් මානව සම්පත් වල ගුණාත්මක බව දියුණු කිරීම, අදාල ව්‍යාපෘති වල ඉල්ලුම සැපරීම සඳහා අත්‍යාවශ්‍යය.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් වන මෙම තත්වය අනුව පැහැදිලි වන්නේ නියමු සැලැස්මක් යටතේ සංගෘහිත පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයි. එමගින් කාලය ඉලක්ක කරගත්, ප්‍රථීපල කෙරෙහි දිශානුගත වූ සම්පත් කළමනාකරණයක් ආදේශනය කළ පුරාවිද්‍යාවක පැවැත්ම තහවුරු කරයි. එමගින් ඉතා පැහැදිලි ලෙස වර්ධනයක් පිළිබිඹු කරන කෘෂිකර්මය, වාණිජ්‍යය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවලට අදාළ විෂයන් සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වෘත්තීයභාවය ද සිය ප්‍රමිතිය ස්ථාපනය කරගනු ඇත. රටේ නිෂ්පාදනයේ ඇගයුම් ආදේශ කිරීමෙන් පුරාවිද්‍යාවේ ක්‍රියාදාමය ප්‍රමාණගතකල නොහැකිය යන යල් පැනගිය අදහස මිථ්‍යාවකි.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කළමනාකරණයේ ප්‍රධාන ප්‍රතිඵලයක් විය යුත්තේ රටේ සරු පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව දේශීය, කලාපීය සහ ලෝක සංදර්භය තුළ මහජන දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමයි. රටේ තිරසාර සංවර්ධනයේ නියමුවන්වන මහජනතාව සිය අතීතය පිළිබඳව සවීඥානිකව සංවේදී වන්නේ එවිටය. ගෝලීයකරණය මගින් ඇතිවන අභියෝග වෙත මුහුණදීම සඳහා ද එය පූර්ව අවශ්‍යතාවක්වනු ඇත.මෙම ලේඛනය මගින් ශ්රී ලංකාවේ ජාතික පුරාවිද්‍යාත්මක ප්‍රතිපත්තිය ඉදිරිපත්වෙයි. එය කොටස් තුනකින් සමන්විතය. එනම් 1. අර්ථ නිරූපන 2. ප්‍රතිපත්තිමය ස්ථාවරය සහ 3. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුවයි.
පළමුවන කොටස
2. අර්ථ දැක්වීම
(2.1) මෙහි මතු පුරාවස්තු ආඥා පනත යනුවෙන් හැදින්වෙන්නේ 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත සහ එහි සංශෝධනයයි.
(2.2) මින් මතු ජාතික ප්‍රතිපත්තිය යනුවෙන් මෙම ලේඛනයේ අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කටයුතු වල ස්ථායිභාවය, එහි ගුණාත්මක ප්‍රවර්ධනය සහ චිරස්ථීතිය කෙරෙහි ඍජුව හෝ වක්‍රාකාරයෙන් බලපවත්වන පරිදි මින් මතු රජය නමින් හැදින්වෙන ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංගද්වය මගින් ගනු ලබන තීරණ, අණපනත්, එළඹෙන සම්මුති, ගිවිසුම් සහ ප්‍රඥප්ති වෙත ඍජුව හෝ වක්‍රාකාරයෙන් මග පෙන්වීමක් කරන ලේඛනයකි.
දෙවන කොටස
3.පුතිපත්තිමය ස්ථාවරය
(3.1) දැක්ම
ශ්‍රී ලංකාවේ සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමය මනා ලෙස කළමනාකරණයේ අභිවෘද්ධිය සඳහා අරමුණු කරගන්නා ක්‍රියාකාරී සැලසුමකට රාමුවක් සැකසීම ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ දැක්මයි. ශ්‍රී ලංකාවේ සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමය සමන්විත වන්නේ වර්ෂ 1815ට පෙර සමයට අයත් ස්ථාන, ස්මාරක සහ චංචල පුරාවස්තු සහ වසර සියයකට වඩා පැරණිවූ ද, පුරාවස්තු ආඥාපනත යටතේ ‘ආරක්ෂිත’ යනුවෙන් ප්‍රකාශයට පත්කොට ඇත්තාවූ ද, ස්ථාන සහ ස්මාරක වලිනි.
(3.2) මෙහෙවර
පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියේ අභිප්‍රාය වන්නේ ඉහතින් සඳහන් කළ දැක්ම ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා අරමුණු සකස් කිරීමයි.
(3.3) අරමුණු
මෙහි පහත දක්වා ඇති අරමුණු වල ප්‍රමුඛතා සකස්කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය ශ්‍රී ලාංකික ජනතාවගේ අනුල්ලංඝනීය අයිතිවාසිකමක් බවත් එය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය රටේ මානව සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකීමත් හානිවීමෙන් අනතුරුව එය ප්‍රතිලෝමනය හා ප්‍රතිස්ථාපනය නොකළහැකි සම්පතක්ය යන පදනම් සැලකිල්ලට ගැනීමෙනි.
ප්‍රමුඛතාව අනුව අරමුණු පහත දැක්වෙන පරිදිය.
(1) ආයතනික සහ මානව සම්පත් ප්‍රවර්ධනය
(2) සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමයේ ආකර්ශනය
(3) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු ලේඛන ගත කිරීම
(4) පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ මහජන දැනුම ප්‍රවර්ධනය කිරීම
(5) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු සංරක්ෂණය සහ නඩත්තුව
(6) පර්යේෂණ
(3.4) ක්‍රියාත්මක කිරීම
කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන පදනමක් මත සකස් කළ නියමු සැලැස්මක් ඉහත සඳහන් කළ අරමුණු සාධනය කිරීමට අදාළවන වැඩසටහන්වලට සහ ව්‍යාපෘති වලට අවශ්‍යය. මෙම නියමු සැලැස්ම සෑම තුන් වසරකට වරක් ඇගයීම සහ සංශෝධනය කළ යුතුය. අවශ්‍යතා අනුව ඊට පෙර සංශෝධන සිදු කළ හැකිය. එමෙන්ම නියමු ව්‍යාපෘතිය ආදේශනයට අදාලවන භාවිත සංහිතාවක් (code of practice) සකස් කිරීම අවශ්‍යය. මෙම භාවිත සංහිතාව උද්ගතවන අවශ්‍යතාව අවම වශයෙන් සෑම පස් වසරකටවත් වරක් ඇගයීමට හෝ සංශෝධනයට ලක්විය යුතුය.
(3.5) ප්‍රමුඛතා
ඉහතින් සඳහන් කරන ලද වැඩසටහන් ප්‍රමුඛතාවක් මත ක්‍රියාත්මක කිරීම අවශ්‍යය.
(3.6) නියාමන ව්‍යූහය
පුරාවිද්‍යා අඥා පනතේ විධි විධාන අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ වගකීම දරන උපරිම ආයතනය රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එහෙයින් ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධාන නියාමන ආයතනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එහෙයින් මෙම ආයතනයේ විද්‍යාත්මක මාණ්ඩලික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සිටින උසස්ම වෘත්තිය පුරාවිද්‍යාඥයින්ගෙන් සමන්විත විය යුතුය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය සහ නියෝජ්‍ය ප්‍රධානත්වය දැරීම සඳහා පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ විෂය බද්ධ සහ ප්‍රායෝගික ප්‍රවීනත්වයක් ඇති සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධි සාමාජිකත්වය දරන පුද්ගලයකු පත් කළ යුතුය.
පුරාවිද්‍යාත්මක සම්පත් කළමනාකරණය සහ පර්යේෂණ සඳහා ඊට ප්‍රවීනතාවක් ඇති වෘත්තිකයින් සහ ආයතන උනන්දු කරවීම මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ නියාමන ආයතනය ලෙස ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කළ යුතුය.
තෙවන කොටස
4. නියමු සැලැස්ම
(4.1) ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය ඒකාබද්ධ කිරීම
(4.1.1) ජාතික සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති සැකසුම් වෙත ඒකාබද්ධ කිරීම (තිරස් ඒකාබද්ධතාව)
(4.1.2) ප්‍රධාන සම්බන්ධිත ක්ෂේත්‍රවල ජාතික ප්‍රතිපත්ති වෙත ඒකාබද්ධ කිරීම (පශ්චාත් ඒකාබද්ධතාව)
නිද:- කෞතුකාගාර, ලේඛනාගාර, ස්පර්ෂ කළ නොහැකි සංස්කෘතික උරුමය, සන්නිවේදනය
(4.2) ආයතනික සහ මානව සම්පත් සංවර්ධනය
(4.2.1) මූලික ද්විතීයික සහ තෘතියික ක්‍රියාත්මක ඒජන්සිවලට අවශ්‍ය කරන ආයතනික සම්පත් තක්සේරු කිරීම
(4.2.2) ) මූලික ද්විතීයික සහ තෘතියික ක්‍රියාත්මක ඒජන්සිවලට අවශ්‍ය කරන සම්පත් තක්සේරු කිරීම
(4.2.3) මූලික ද්විතීයික සහ තෘතියික ක්‍රියාත්මක ඒජන්සිවල පවතින අඩුපාඩු සකස්කර ගැනීමට අවශ්‍ය කරන ව්‍යාපෘති සකස් කිරීම
(4.3) ආරක්ෂාව
(4.3.1) 1998 සංශෝධිත පුරාවස්තු ආඥාපනත ක්‍රියාත්මක කිරීම
(4.3.2) නීති මාලාවට වැඩිදුර සංශෝධන ඇති කිරීම
(4.4) ලේඛනගත කිරීම
(4.4.1) පුරාවස්තු ආඥාපනත මගින් ආවරණය වන දේපල ප්‍රමුඛතා අනුව ලියාපදිංචිය
(4.5) පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව මහජන දැනුම ප්‍රවර්ධනය
(4.5.1) (i) අධ්‍යාපනය (ii) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු ප්‍රදර්ශනය (iii) ප්‍රකාශන (iv) සමුළු, දේශන සහ සම්මන්ත්‍රණ (v) අන්තර්ජාලය ඇතුළුව සන්නිවේදන මාධ්‍ය යන ක්‍රම ඔස්සේ මෙය සිදුකළ හැකිය.
(4.6) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු සංරක්ෂණය
(4.6.1) පිළියම් සඳහා සංරක්ෂණය
(4.6.2) අනතුරු වලක්වාලීමේ සංරක්ෂණය සහ නඩත්තුව
(4.7) පර්යේෂණ
(4.7.1) ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සඳහා අවධානය යොමුකළ යුතු තේමාවන් පිළිබඳව ප්‍රමුඛතා හඳුනාගැනීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කල යුතුය. එහෙත් එම හඳුනාගැනීම පර්යේෂණ ක්ෂේත්‍ර තෝරා ගැනීම සමග කිසිදු ආකාරයක සම්බන්ධතාවක් ස්ථාපනය නොකල යුතු අතර හැකිතාක් දුරට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ නිදහස් චින්තනමය පසුබිමක වර්ධනය වීමට අවකාශ සැලසිය යුතුය.
5. සමෝධානය
මෙහි ඉහත සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියට පදනම් වන මූලික තේමාය. එමගින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සම්පත් කළමනාකරණයට අවශ්‍ය වන අරමුණුවල පැහැදිලි රාමුවක් ස්ථාපනය කරයි. එහි දක්නට තිබෙන වැදගත් අංගය වන්නේ එම ප්‍රතිපත්ති දිවයිනේ ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්ති වලට සම්පාත කිරීම සහ ඒකාබද්ධ කිරීමයි. පුරාවිද්‍යාවට හුදකලාව පැවතිය නොහැකිය. පුරාවිද්‍යාවේ ප්‍රධාන උරුමක්කාරයන් ලෙස රටේ ජනතාවට ඇති ප්‍රධාන ගැටලු කෙරෙහි අමතමින් ඔවුන් පුරාවිද්‍යාවේ ක්‍රියාවලියට සහභාගි කර ගැනීම ඉතා වැදගත්ය. ඉන් අනතුරුව ප්‍රතිපත්ති රාමුව මගින් කෙටි, මධ්‍යම සහ දිගුකාලීන පදනමක්මත ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ නියමු සැලැස්මකට අවශ්‍ය කරන නිර්නායක සපයනු ඇත.
දැනට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා හඳුනාගෙන ඒ වෙත නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අදාලව විනිවිද පෙනෙනසුළු ලෙස කටයුතු කිරීම මෙම ව්‍යායාමයට මහත් පිටුබලයක් වනු ඇත. මේ සියල්ලටම වඩා වැදගත්වන්නේ ආයතනය සතු හැකියාවන් වර්ධනය කිරීම, අරමුදල් කළමනාකරුවන්ගේ සහ තොරතුරු හුවමාරුව හා දැනුම කළමනාකරණය ඇතුළු කටයුතු වලට සම්බන්ධ සන්නිවේදකයින්ගේ හැකියාවන් වර්ධනය කරන අතර වෘත්තීය පුරාවිද්‍යාඥයින්ගේ සහ සංරක්ෂකයින්ගේ වෘත්තිමය ශක්‍යතාවන් දියුණු කිරීමයි. නිසි පරිදි අදාලවන පුහුණුවීම් හඳුනාගැනීමත්, ලබාගන්නා පුහුණුව ස්ථීරසාර ව්‍යාපෘතිවෙත යොදාගැනීමත් කළ යුතුය. දැනුම හුවමාරු කර ගැනීමට පමණක් සීමා නොකොට අධ්‍යාපන වැඩසටහන් මගින් අවස්ථා නිර්මාණය කිරීමත්, ඒවා ඵලදායී ලෙස යොදා ගැනීමත් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ සැබෑ වර්ධනයක් පිළිබඳව කෙනෙකුට බලාපොරොත්තු තබා ගත හැක්කේ එවිටය.
6.නිර්වචන
(6.1) පුරාවිද්‍යාව යනුවෙන් මෙම ලේඛනයෙන් අදහස් කරන්නේ අතීතයට අයත් ද්‍රව්‍යාත්මක සංස්කෘතිය සොයාගැනීම, කුමානුකූලව විස්තර කිරීම, අධ්‍යයනය කිරීම, දැනුම පතල කිරීම සහ සමස්ථ කළමනාකරණය පිළිබඳව කටයුතු කරන විෂයයි.
(6.2) මෙම ලේඛනයේ පුරාවිද්‍යාඥයා යනුවෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ ඒ පිළිබඳව නිර්වචනය කොට ඇති වෘත්තිකයන්ය
(6.3) පුරාවිද්‍යාත්මක ස්මාරක යනුවෙන් විස්තර කරනු ලබන්නේ පුරාවස්තු ආඥාපනත මගින් විස්තර කර ඇති පරිදි පුරාණ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය හෝ ජනවාසයක් පිළිඹිඹු කරන ද්‍රව්‍යාත්මක සාධක සහිත ස්ථානයකි
(6.4) චංචල පුරාවස්තු යනුවෙන් විස්තර වන්නේ 1815 පෙර යුගයකට කාල නිර්ණය කලහැකි චංචල මනුෂ්‍ය නිර්මාණයෝය.
පාදක සටහන්
ඵෙතිහාසික සහ ස්පර්ශ කල නොහැකි සංස්කෘතික උරුමය වුවද පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ දී අදාළ වන්නේනම් ඒවා ද පුරාවිද්‍යාත්මක උරුමය යන පුළුල් නිර්වචනයට ඇතුළත්කොට තිබේ.
පුරාවස්තු ආඥාපනත මගින් පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා බලගන්වා ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයායි.
මෙම ඇගයුම් කමිටුව සඳහා සාමාජිකයන් තෝරාගත යුත්තේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතුවල ප්‍රමිතිය ස්ථාපනය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා පුරාවිද්යාඥයින්ගේ සභාව මගිනි.
මෙම භාවිත සංහිතාව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ භාවිත සංහිතාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාවර නියෝග යන අංග සමග සැසදෙන්නක් විය යුතුය. එම භාවිත සංහිතාව සෑම තෙවසරකට වරක් ශ්‍රී ලංකා පුරාවිද්යාඥයින්ගේ සභාව මගින් පත්කරන මණ්ඩලයක් මගින් ඇගයීම හෝ අවශ්‍යනම් සංශෝධනය කල යුතුය.
මෙම ශීර්ෂ වලට අදාළ වන කටයුතු නිසිපරිදි පවත්වාගෙන යාම සඳහා ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ නියාමන ආයතනය වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධීකරණය පවත්වාගැනීම අවශ්‍ය කරන ආයතන සහ ඒවායින් දෙපාර්තමේන්තුව අපේක්ෂිත කාර්යන් පිළිබඳ ලේඛනයක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැකසිය යුතුය.
විදේශීක පර්යේෂකයින් සඳහා ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා අවසර දීමේදී එම විදේශික ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ මනුෂ්‍ය සම්පත් ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදීම අත්‍යවශ්‍යය.
ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ උපරිම ආයතනය ලෙස පුරාවස්තු ආඥාපනත මගින් බලගන්වා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. පුහුණු පුද්ගලයින්ගේ හිගතාවත් තනතුරු හිඟතාවත් නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියාමන ආයතනය ලෙස ගුණාත්මකවත්, ප්‍රමාණාත්මකවත් තමන්ට නියමිත කටයුතු වලින් ඉටුකළ හැකිව ඇත්තේ සුළු කොටසක් පමණි. ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ විස්තර කෙරෙන නියමු සැලැස්ම ක්‍රියාවට නැඟීම සඳහා පුරාවිද්‍යා කටයුතු පිළිබඳ උපරිම නියාමන ආයතනය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහ ගතකොට සංවිධානය කිරීම අවශ්‍යය. ඒ සඳහා දැනට සිටින මාණ්ඩලික ශ්‍රේණියේ කාර්ය මණ්ඩලයේ ගුණාත්මක බව ඉහළ දැමිය යුතු අතර ප්‍රතිව්‍යූහගත කරන ලද ක්‍රමවේදය අනුව පුරප්පාඩු තනතුරු පිරවිය යුතුය. රටේ උපරිම පුරාවිද්‍යා ආයතනය ලෙස එය ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම වෘත්තීය පුරාවිද්‍යඥයින්ගේ සහ සහායක කාර්යමණ්ඩලයකින් සමන්විත විය යුතුය.
මූලික ක්‍රියාත්මක ඒජන්සිය – මේ වනාහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවයි.
ද්විතීයික ක්‍රියාත්මක ඒජන්සි – මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යාව පිළීබද ගෞරව උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමන විශ්ව විද්‍යාල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මේ යටතට ගැනේ. මෙම ආයතන වල පුහුණු පුද්ගලයින්ගේ හිඟතාවත් තනතුරැ හිඟතාවත් නිසා ගුණාත්මකවත් ප්‍රමාණාත්මකවත් තමන්ට නියමිත කටයුතු වලින් ඉටුකළ හැකිව ඇත්තේ සුළු කොටසක් පමණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම මෙම ඒජන්සි ද තමන් සතු නියමිත කාර්යයන් සඳහා අවශ්‍යවන ආකාරයට ප්‍රතිව්‍යූහ ගතකළයුතු අතර කාර්යමණ්ඩලය සවිමත් කළ යුතුය.
තෘතීයික ක්‍රියාත්මක ආයතනය – විශ්ව විද්‍යාල, සංස්කෘතික උරැමය පිළිබඳව කටයුතු කරන පදනම්, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පූජා භූමි සංවිධාන, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිළධාරී, පොලිස් දෙපාර්තමේන්තුව, රේගුව, නීතිපති, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ආදී රාජ්‍ය ආයතන, පුරාවිද්‍යා ස්වේච්ඡා සංවිධාන, පන්සල් සහ වෙනත් ආගමික ආයතන සහ වෘත්තිය සහ වෘත්තිය නොවන පුරාවිද්‍යාඥයින් ඇතුළු පෞද්ගලික අංශ මීට අයත්ය. මෙම තෘතියික ක්‍රියාත්මක ආයතන උපරිම නියාමන ආයතන සහ ද්වීතික ආයතන වලනායකත්වය සහ මඟපෙන්වීමෙන් තොරව සතුටුදායක ලෙස ක්‍රියාත්මක විය නොහැකිය. ප්‍රාථමික සහ ද්විතීක ඒජන්සි යෝග්‍ය ආකාරයට සවිමත් කළ පසු ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ සහ නියමු සැලැස්මේ විස්තර කරන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තෘතීයික ඒජන්සි ඒ වෙත ඒකාබද්ධ කළහැකිය.
ප්‍රාථමික ද්විතීක සහ තෘතීයික ඒජන්සි වල වර්ධනය 1992 වසරේ දී ස්ථාපනය කළ ශ්‍රී ලංකා පුරාවිද්යාඥයින්ගේ සභාව එය සාමාජිකත්වය මත පනවන වෘත්තීමය විනය සහ ප්‍රමිතීන් මගින් පිළිඹිඹු කරනු ඇත. ශ්රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සහ එහි තදානුබද්ධ සේවාවන් වෙත ද පුරාවිද්‍යාවේ අධ්‍යන පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතන වෙත ද පුරාවිද්‍යාඥයින් බඳවා ගැනීමේ දී ශ්‍රී ලංකා පුරාවිද්යාඥයින්ගේ සභාව මගින් පුරාවිද්‍යාවේ වෘත්තීය භාවය පිළිබඳව ස්ථාපනය කර ඇති ප්‍රමිතීන් සහ විධි විධාන සපුරා තිබීම අත්‍යවශ්‍ය වනු ඇත.
ප්‍රධාන පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයෙන් පරිබාහිර පුරාවිද්‍යාවේ තදානුබද්ධ විෂයයන් යටතේ නිලධාරී තනතුරු (උදා:රසායන විද්‍යාව, වාස්තු විද්‍යාව ඉංජිනේරු සේවා ආදී) සඳහා බඳවා ගැනීමේ දී අදාළ විෂයන්ගේ වෘත්තීය සභාවක වෘත්තීය සුදුසුකම් සපුරා තිබිය යුතු වන අතර බඳවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අදාළ වෘත්තීය සුදුසුකම් සැපයිය යුතුය.
පුරාවිද්‍යාත්මක කටයුතු වල යෙදෙන සියලුම ආයතන පොදුවේ ගත්කළ ඒ සියල්ලම ප්‍රතිව්‍යූහගත කළ යුතුය. ඉහත සඳහන් කළ පරිදි රටේ පුරාවිද්‍යාත්මක කටයුතු වල ප්‍රධාන නියාමන ආයතනය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවත් ද්විතීක සහ තෘතීයික ක්‍රියාත්මක ආයතනත් සතු වෘත්තීමය මනුෂ්‍ය සම්පත ගුණාත්මක ලෙස සහ ප්‍රමාණාත්මක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමත් පුළුල් කිරීමත් අවශ්‍යය. පුරාවිද්‍යාත්මක සම්පත් කළමනාකරණය සහ ඒවායේ සංවර්ධනයට අදාළ වෘත්තීය භාවය ශ්‍රී ලංකාවේ අනාගත පුරාවිද්‍යාවේ වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. මනුෂ්‍ය සම්පත් නිර්මාණ්‍ය මෙන්ම ඒවා යථාවත් කිරීම ද වැදගත්ය. මනුෂ්‍ය සම්පත් සංවර්ධනයේ මූලික මට්ටමේ දී ශ්‍රී ලංකාව තුළ පුහුණු වීමට අවශ්‍ය කටයුතු සම්පාදනයත් දෙවනුව අන්තර් මධ්‍ය මට්ටමේ දී ඒ සඳහා දකුණු සහ අග්නිදිග ආසියානු ආයතන ප්‍රයෝජනයට ගැනීමත් තෙවනුව ඉහළ මට්ටමේ දී යුරෝපයේ ඔ්ස්ට්‍රේලියාවේ සහ උතුරු ඇමරිකාවේ හෝ ලෝකයේ ඇති පුරාවිද්‍යාව පිළිබඳ වෙනත් පිළිගත් ආයතන වල පුහුණුව ලබාදීමත් කළ යුතුය. මානව සම්පත් ප්‍රවර්ධනය උදෙසා වන මෙම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන පදනම් මත ව්‍යාපෘති සකස් කළ යුතුය.
ශ්‍රී ලංකා පුරාවිද්යාඥයින්ගේ සභාව විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ වෘත්තීය පුරාවිද්‍යාඥයෙකු විසින් ප්‍රගුණ කල යුතු විෂයයන් ලේඛනය පදනමක් සේ ගෙන කටයුතු කළ යුතුය. එම ලේඛනයේ සඳහන් විෂයයන් ශ්‍රී ලංකාව තුළ ඉගැන්වීමට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය පියවර කඩිනමින් සම්පාදනය කළ යුතුය. බොහෝ අවස්ථාවල පුරාවිද්‍යාවේ නව විෂයයන් ශ්‍රී ලංකාවේ ඉගැන්වීම දුෂ්කර වී ඇත්තේ ඒ සඳහා පුහුණුව ලැබූ ගුරුවරුන් හිඟවීමයි. මෙම හිඟයට පිළියම් යෙදිය හැක්කේ ඉතා කල්පනාකාරීව තෝරාගත් පුද්ගලයන් විදේශ පුහුණුව සඳහා යැවීමෙනි. ජාතික අවශ්‍යතා සැපයීම සඳහා අවම වශයෙන් එවැනි ඉහළ ශක්‍යතාවක් ඇති පුහුණු පුද්ගලයින් 40 දෙනෙකුවත් අවශ්‍යය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ද මධ්‍යම සංස්කෘතික අරමුදලින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනා බැගින්ද විශ්ව විද්‍යාලවලින් පුද්ගලයින් 15ක් ද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු වශයෙන්ද ඇතුළු වන පරිදි කණ්ඩායමක් මේ සඳහා තෝරාගත යුතුය. ඔවුන්ගේ පුහුණුව මුළුමණින්ම ශාස්ත්‍රීය නැඹුරුවකට පමණක් සීමා නොකොට පුරාවිද්‍යාවේ තාක්ෂණික සහ කළමනාකරණ අංශයට ද යොමු වීමට නැඹුරු කිරීම ද වැදගත්ය. මේ සඳහා අවශ්‍ය මුදල සපයා ගැනීමට මහභාණ්ඩාගාරයෙන් වාර්ෂික ප්‍රතිපාදන සැපයිය යුතුය. පුහුණු කිරීමේ කටයුතු සඳහා එම ප්‍රතිපාදන පස් අවුරුදු කාලසීමාවක් තුළ ආයෝජනය කළ හැකිවනු ඇත. ඒ වෙනුවෙන් යෙදවිය යුතු මුදලින් කොටසක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික ප්‍රතිපාදන වලින් 7.5%ක් මුදලක් වෙන් කිරීම අත්‍යවශ්‍යය.
ඉහත සඳහන් මුදල ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වාර්ෂිකව වැය කරන ප්‍රතිපාදනවලින් ඉතා සුළු කොටසකි. යෝජිත ඇස්තමේන්තුගත මුදල ඥානාන්විත ලෙස අදාල අරමුණු ඉටු කර ගැනීම සඳහා ස්ථිර මනුෂ්‍ය සම්පත් මත යෙදවීම ජාත්‍යන්තර වශයෙන් පිලිගැනෙන වෘත්තිය හැකියාවන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව තුළ වර්ධනය කිරීමට හේතු වනු ඇත. මෙම අරමුණු ඉටු නොවන තාක් කල් අපරිණත මැදිහත් වීම් තුළින් ජාතියේ පුරාවිද්‍යාත්මක හානි ඇගයුම් පැවැත්වීම යන ශීර්ෂ මීට ඇතුළත්ය.
මීට පුරාවස්තු ආඥා පනතට සංශෝධන ඇතිකිරීම, පුරාවස්තු ආඥා පනත සමග පුනරුක්ති වීම සහ ඊට බලපෑමක් ඇතිවීම වලක්වන පරිදි 1988 සංස්කෘතික දේපල පනත සංශෝධන කිරීම යන ශීර්ෂ ඇතුළත්ය.
පුරාවිද්‍යාත්මක ස්මාරක ක්ෂේත්‍ර සහ චංචල පුරාවස්තු ලේඛන ගත කිරීමේ දී ඒවායේ වැදගත්කම පරිමාණ හතකින් අවධානයට ගැනීම යුක්ති සහගතය. (නිද: ජාත්‍යන්තර, ජාතික දිස්ත්‍රික්ක) අනතුරැව ඒවා ශ්‍රේණිගත කළ යුත්තේ පහත සඳහන් නිර්ණායක පදනමක් සේ ගනිමින් (අ) දුර්වල බව (ආ) පර්යේෂණ ශක්‍යතා (ඉ) සෞන්දර්යාත්මක අගය (ඊ) යථාභූත බව (උ) ඵෙතිහාසික සබඳතාව සහ (එ) ආගමික සබඳතාව සහ (ඔ) සමාජ ආර්ථික සංවර්ධනයට ඇති වැදගත්කම
මහජන දැනුවත් බව වර්ධනය කිරීම සඳහා රටේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ වැඩසටහන් පාසල් විෂය නිර්දේශ වෙත ඒකාබද්ධ කිරීම අවශ්‍යය. එමගින් තරුණ පරපුර රටේ පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කරගැනීම සහ කළමනාකරණය කෙරෙහි සංවේදි වනු ඇත. ඉතා සීඝ්‍ර ආකාරයෙන් පරිහානියට පත්වන ප්‍රතිස්ථාපනය කළ නොහැකි පුරාවිද්‍යාත්මක උරුමය රැකගැනීම සඳහා එය දීර්ඝ කාලීන ආයෝජනයක් වනු ඇත.
ප්‍රතිස්ථාපනය සඳහා සිදුකෙරෙන සංරක්ෂණ කටයුතුවල දී ස්මාරකයක් සම්පූර්ණයෙන් නැවත ගොඩනැඟීම දක්වා වූ විප්ලවකාරී අතරමැදිවීම් සිදුවිය හැකිය. එය පුරාවිද්‍යාවේ වෘත්තිමය ඇගයුම් වලට පටහැනිය. එවැනි කටයුත්තක් සිදුකළ යුත්තේ අතිවිශේෂ අවස්ථාවකදී පමණි. එවැනි කටයුත්තක් වුවද සිදු කළ යුත්තේ එම ස්මාරකය සොයාගන්නා අවස්ථාවේ දී පැවති තත්වයට නැවත පරිවර්ථනය කළ හැකි අන්දමටය.
මතුපිට පුරාවස්තු නියැදි එකතු කිරීම හෝ කැනීම අදාළ වන සියලුම ක්ෂේත්‍ර ව්‍යාපෘතිවල ප්‍රධානත්වය දරන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ ප්‍රමිතීන් වලට අනුකූලවන වෘත්තීය අවශ්‍යතා සපුරන ලද පුද්ගලයෙකු විය යුතුය. එවැනි ව්‍යාපෘති පවත්වා ගෙන යා යුත්තේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මතය. එවැනි ව්‍යාපෘති වලට සහභාගිවන පුරාවිද්‍යාඥයින් ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ ආචාර ධර්මවලට සහ භාවිත සංහිතාවට අනුගත විය යුතුය. පුරාවිද්‍යාවට සම්බන්ධතා ඇති වෙනත් විෂයයන්ගේ වෘත්තිකයින් (නිද:පුරාවිද්‍යාඥයින්, ව්‍යූහ ඉංජිනේරුවරුන්, භූ රූප විද්‍යාඥයින්, උද්භිත විද්‍යාඥයින්, සත්ව විද්‍යාඥයින්) අදාළ ව්‍යාපෘතියේ අවශ්‍යතා උදෙසා සහභාගි කර ගැනීමේ අවස්ථාව ව්‍යාපෘති අධ්‍යක්ෂවරු විසින් සිය අධිකාරීත්වය යටතේ විවෘත කොට තබා ගත යුතුය.
ක්‍රමවේදය : ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කටයුතු තවමත් වර්ධනය විය යුතු තත්වයක පවතින හෙයින් කාලඅනුක්‍රමිකතාව පිළිබඳව අවධානය යොමු කෙරෙන සම්ප්‍රදායික ප්‍රවේශය තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ලබාදීම අවශ්‍යය. කාලනිර්ණ ස්ථාපනය කෙරෙහි අවධානය යොමු කිරීමට පළමුව යෝජනා කෙරෙන අතර ඉන් අනතුරු සන්සන්දනාත්මක විශ්ලේෂණ වෙත අවධානය යොමු කෙරෙන සියුම් අධ්‍යයන වෙත යොමු වීමට ද නිර්දේශ කරනු ලැබේ.
නියැදිකරණය : ව්‍යාපෘතිවල අරමුණු සාධනය සඳහා මතුපිට පුරාවස්තු එකතු කිරීම සහ කැණීම හැකි තරම් අවම කරන ලෙසද මින් නිර්දේශිතය.
(2017 සැප්තැම්බර් මස 10 දින ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සභා කාමරයේ පැවති ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනයේ දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා මෙම ප්‍රතිපත්තිය පිළිබඳ පැවැත් වු දේශනයට සවන් දෙන්න.)
ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව
ආචාර්ය සිරාන් දැරණියගල (සභාපති)
උපදේශක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ආචාර්ය සෙනරත් දිසානායක
අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුරාවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මහාචාර්ය ටී. ජී. කුලතුංග
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල
අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම සංස්කෘතික අරමුදල
ආචාර්ය නන්දා වික්‍රමසිංහ
අධ්‍යක්ෂ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ආචාර්ය පියතිස්ස සේනානායක
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පුරාවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අනුර මනතුංග
පුරාවිද්‍යා අංශය, කැලණිය විශ්ව විද්‍යාලය
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය රාජ් සෝමදේව
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
පුරාවිද්‍යාව පිළිබඳ කෙටි හැඳින්වීමක්
චන්දිම බණ්ඩාර අඹන්වල
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
හැඳින්වීම


වත්මන් ලෝකයේ වර්ධිත න්‍යායවාදි මූලාංග හා ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන්ගේ අත්දැකීම් මඟින් ශීඝ‍්‍ර වර්ධනයක් අත් කරගත් විෂයකි, පුරාවිද්‍යාව. සරළ ව විමසා බැලීමේ දී මානව අතීතය හෙවත් මානවයාගේ දීර්ඝ පරිණාමයේ දී මානවයා හා ඔහු වටා වූ පරිසරය අතර වූ නිරන්තර සංවාදය පිළිබඳ ව කතාව ද්‍රව්‍යාත්මක අවශේෂ මත පදනම්ව ප‍්‍රතිනිර්මාණය කිරීම පුරාවිද්‍යාව යනුවෙන් වටහා ගනී. ප‍්‍රධාන වශයෙන්, මධ්‍ය කාලීන යුගයේ යුරෝපයේ වර්ධනය වන්නා වූ විෂය ඥානය සමඟ ම අත්වැල් බැදගෙන වර්ධනය වන, බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක සහසම්බන්ධතාව මඟින් ප‍්‍රබල පදනමීය අනන්‍යතාවක් ගොඩනඟා ගන්නා පුරාවිද්‍යා විෂය පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම ලිපිය මඟින් ඉදිරිපත් කෙරේ.
පුරාවිද්‍යාව යනු කුමක් ද?
පුරාවිද්‍යාව යන පොදු වදනේ වචනාර්ථයෙන් ම පැහැදිළි වන්නේ පුරාණ එ නම් පැරණි දේ පිළිබඳ ව අධ්‍යයනය කිරීම හෙවත් ඒ පිළිබඳ විද්‍යාව යන්නයි. පුරාවිද්‍යාව ඉංග‍්‍රීසියෙන් Archaeology වශයෙන් හඳුන්වන අතර එය පැරණි දේ යන්න අර්ථවත් කරන Archaia හා න්‍යාය හෝ විද්‍යාව යන්න අර්ථවත් කරන Logos යන වදන් දෙක සම්බන්ධ වීමෙන් නිර්මාණය වී ඇත. සාම්ප‍්‍රදායික අර්ථයෙන් සලකා බැලුව ද අපි මුහුණ දෙන මෙම මොහොත හෙවත් වර්තමානයේ සිට පසුගිය කාලය පිළිබඳ ව යථාවාදි විග‍්‍රහයකට එළැඹීමට අවශ්‍ය ඥානය උදාකර ගැනීම පුරාවිද්‍යා විෂයේ කාර්යය වෙයි. එම අවබෝධය ලබා ගැනීමට දරන උත්සාහය තුළට මිනිසා හා ඔහු වටා පරිසරය පිළිබඳ සමස්තයම ඡායාමාත‍්‍ර වශයෙන් හෝ අන්තර්ග‍්‍රහණය කර ගැනීමට පුරාවිද්‍යා අධ්‍යයනයන් තුළ දී සිදු වෙයි.
පුරාවිද්‍යාව හෙවත් Archaeology යන්න විග‍්‍රහ කර ගැනීම සඳහා ඒ පිළිබඳ ව ඉදිරිපත් වී ඇති, විවිධ ආයතන හා පුද්ගලයන් විසින් සිදු කරන විග‍්‍රහයන් හා පැහැදිළි කිරීම් පිළිබඳ ව සංක්‍ෂිප්ත හෝ අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත. පළමුවෙන් ම ‘Oxford උසස් පරිශීලකයන්ගේ ශබ්ධකෝෂය’ මඟින් Archaeology යන්නට ලබා දෙන පදගත අර්ථය විමසමු. එයට අනුව පොළොවෙන් සොයා ගන්නා ගොඩනැඟිලි අවශේෂ හා ද්‍රව්‍යය පරික්‍ෂා කරමින් යටගිය සංස්කෘතිය හා ඉතිහාසයේ කාළ කාලපරිච්ඡේද පිළිබඳ ව අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාව නම් වෙයි. Oxford ඉංග‍්‍රීසි පරිශීලන ශබ්ධකෝෂයට අනුව, පුරාවිද්‍යාව යනු භෞතික අවශේෂ විශ්ලේශනය කිරීම හා ක්‍ෂේත‍්‍ර කැනීම මඟින් මානව ඉතිහාසය හා ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එය තවදුරටත් විචිත ආශාව ඉක්ම වූ සංවිධිත විණයකි. පුරාවිද්‍යාව යනු සුසාන, අතීත මානව ජීවනය හා සංස්කෘතිය හේතුවෙන් ශේෂගත වූ ගොඩනැඟිලි, මෙවලම් හා මැටිබදුන් ආදී ද්‍රව්‍යාත්මක සාධක පිළිබඳ අධ්‍යයනය කිරීම හා සංවිධිත ප‍්‍රතිසාධනයයි යනුවෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ ‘ඇමරිකානු උරුම ශබ්ධකෝෂය’ පැහැදිළි කරයි. පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් කෙරුණු සරළ අර්ථ දීමක් වශයෙන් මෙම විග‍්‍රහය හඳුනාගත හැකි මුත් එය වර්ථමානය වන විට වර්ධිත බවක් අත්කොට ගෙන ඇති මෙම විෂය සම්බන්ධයෙන් සිදු කළ හැකි/සිදු කළ යුතු ප‍්‍රමාණාත්මක වශයෙන් හඳුනාගත නොහැකි ය. මේ සම්බන්ධයෙන් ප‍්‍රමාණාත්මක විග‍්‍රහයක් ‘බි‍්‍රටැනිකා විශ්වකෝෂය’ ඉදිරිපත් කරන බව හඳුනාගත හැකි වේ. ‘ඇමරිකානා විශ්වකෝෂයට’ අනුව මනුෂ්‍යාගේ අතීතය සමඟ ගනුදෙනු කිරීම පුරාවිද්‍යාවයි. එහි මූලික අරමුණු වන්නේ ආවරණය වූ ඉතිහාසය ප‍්‍රකෘතිමත් කිරීමයි. එ නම් ප‍්‍රාග් ඓතිහාසික හා මූල ඓතිහාසික කාලයන් තුළ සිද්ධ වූ සිදුවීම් කාලක‍්‍රමාවලියකට අනුව ප‍්‍රතිනිර්මාණය කිරීමයි.
‘පුරාවිද්‍යාඥයා’ යන්න විග‍්‍රහ කිරීම තුළින් මෙම විග‍්‍රහය තව දුරටත් පැහැදිලි කරගත හැකිවනු ඇත. ප‍්‍රසිද්ධ පුරාවිදඥ ලෙනාඞ් වූලීට අනුව බිහි පුරාවිදඥයාගේ පරමාර්ථය වනුයේ මානව ඉතිහාසය ගමන් ගත් මාර්ගය ගවේෂණය කිරීමත් එය පැහැදිළි කිරීමත් ය. එහි නියම තේරුම නම් ඔහුගේ කාර්යය සංකීර්ණ එකක් බව ය. මක් නිසා ද යත් ඒ අවාසනාවන්තයාට එක විටම ද්විප‍්‍රකාර සේවාවක් ඉටු කිරීමට ඇති බැවිනි. සරළ වුවත් පුරාවිද්‍යාඥයා වෙත පැවැරෙන වගකීම හා එහි බැරෑරුම් බව වූලී මෙමඟින් පෙන්වා දෙයි. ‘බි‍්‍රටැනිකා විශ්වකොෂයට’ අනුව, පුරාවිද්‍යාඥයා වනාහි පළමුවෙන් ම විග‍්‍රහාත්මක ක‍්‍රියාකරුවෙකි. තමා අධ්‍යනය කරන පුරාකෘති පැහැදිළි කිරීම, වර්ග කිරීම හා විශ්ලේෂණය කිරීම ඔහු සිදු කරයි. පුරාවිද්‍යාඥයා යනු ම විශේෂ අරමුණක් වෙනුවෙන් වූ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක ප‍්‍රාමාණික බව හා මනෝමුලීක විශ්ලේෂණය පදනම් කර ගන්නා අයෙකි. බොහෝ යහපත් පුරාවිද්‍යාඥයන් ඔවුන්ගේ කාලය, පුරාකෘති පැහැදිළි කිරීමේ කාර්යය හා වර්ගිකරණය සඳහා කැප කරයි. නමුත් පුරාවිද්‍යඥයාගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඓතිහාසික සන්දර්භයක් තුළ ද්‍රව්‍යාත්මක අවශේෂ ස්ථාන ගත කිරීමයි. අතිරේකව දන්නා ලිඛිත මූලාශ‍්‍රයන්ගෙන් යටගියාව පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමයි. අවසාන වශයෙන් පුරාවිද්‍යාඥයා ද ඉතිහාසඥයෙකි. ඔහුගේ අරමුණ ද මානවයාගේ යටගියාව පිළිබඳ ව විග‍්‍රහාත්මක අර්ථකථනයක් සැපයීමයි.


පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ප‍්‍රවීනතාවක් අත්කර ගත් පුද්ගලයන් විසින් මෙම විෂය ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ඵලකර ඇති විවිධ අදහස් ද පුරාවිද්‍යාව යනු කුමක් ද යන්න ප‍්‍රායෝගික තලයක සිට විග‍්‍රහ කර ගැනීමේ දී වැදගත් වනු ඇත. භාරතීය පුරාවිද්‍යාඥ කේ. රාජන්ට අනුව, අතීතයේ සිදු වූ සංස්කෘතික වෙනස්වීම හා මානව හැසිරීම ද්‍රව්‍යාත්මක අවශේෂ ඔස්සේ අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාව වෙයි. ජූලියන් තෝමස් උපුටා දක්වමින් ක්ලයිව් ගැම්බල් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාව යනු ආවේගයක් වශයෙනි. අතීත මානවයා පිළිබඳ බුද්ධිමය කෞතුකත්වය හා එම කෞතුකත්වය, දැනුම වෙත හැරවීමේ ක‍්‍රමවේදය සොයා ගැනීම පුරාවිද්‍යාවයි. නෝරා මෙලොනිට අනුව, පුරාවිද්‍යාව යනු අතීත මිනිසා පිළිබඳ: ඔවුන්ගේ පෙනුම කෙසේ ද? ඔවුන් ජීවත් වූයේ කොහේ ද? ඔවුන් අනුභව කළේ මොනවාද? ඔවුන් කළේ කුමක් ද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවා ද? සිරිත් විරිත් මොනවා ද? ආදිය අධ්‍යයනය කිරීමේ මාර්ගයකි. ලංකාවේ බිහි වූ විශිෂ්ට මෙන් ම දැනට සිටින ජ්‍යෙෂ්ටතම පුරාවිද්‍යාඥයකු වන වන ආචාර්ය සිරාන් උපේන්ද්ර දැරණියගල පුරාවිද්‍යාව යනු කුමක්දැයි කරන විග‍්‍රහය පිළිබඳ අවධානය යොමු කිරිම ද පුරාවිද්‍යාව යනු කුමක්දැයි වටහා ගැනීම සඳහා වැදගත් වනු ඇත. ආචාර්ය සිරාන් දැරණියගලට අනුව පුරාවිද්‍යාව යනු මතුපිට ගවේෂණ මාර්ගයෙන් සහ තදානුගත ව කැරෙන කැනීම් ඔස්සේ ආදීකාලීන සංස්කෘතීන් ප‍්‍රතිනිර්මාණය කරන්නා වූ ද ඒවා තෝරා පැහැදිලි කරන්නා වූ ද, එම සංස්කෘතීනට අදාළ භෞතික න්ෂ්ඨාවශේෂ පිළිබඳ අධ්‍යයනයයි. මේ කාර්යය වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂණ, හේතු දර්ශන සහ ශල්‍ය ශාස්ත‍්‍රයට පිළිවෙලින් සමාන්තර වේ. මෙම විග‍්‍රහය අනුව, පුරාවිද්‍යාව යනු යටගිය සංස්කෘතීනට අදාළ තත්ත්වයන් පැහැදිළි කරදෙන්නා වූත් එම සංස්කෘතීන් පැවැතියේ මෙලෙස ය, මෙබඳු ස්ථානයකය එහි ස්වරූපය මෙලෙසය යන්න හා එම යටගිය සංස්කෘතීන් සතු වූ භෞතික අවශේෂයන් මේවාය යනුවෙන් විග‍්‍රහ කරන විෂයයි. මෙම කාර්යය උදෙසා පුරාවිද්‍යාව ප‍්‍රධාන ක‍්‍රමෝපායයන් වශයෙන් පුරාවිද්‍යාත්මක කැනීම් හා පුරාවිද්‍යාත්මක ගවේෂණ වහල් කර ගනී.
මෙලෙස විවිධාකාරයෙන් විග‍්‍රහ කරගත හැකි පුරාවිද්‍යාව විෂයක් ලෙස කුමන ස්ථානයක ස්ථාන කළ හැකි දැයි විමසා බැලීම මෙම විෂයේ පවත්නා ස්වභාවය හඳුනා ගැනීම සඳහා තවත් අයුරකින් උපකාරී වෙයි. ඒ අනුව පුරාවිද්‍යා විෂය කුමණාකාර විෂය පරාසයක් තුළ ස්ථානගත කරන්නේ ද යන්න විමසීමේ දී එක්සත් රාජධානි විද්වතුන් විසින් හා ඇමරිකානු එක්සත් ජනපද සම්ප‍්‍රදාය විසින් එය සිදුකරන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් වේ. වඩාත් ගතානුගතික විග‍්‍රහයක නියැලෙන එක්සත් රාජධානි විග‍්‍රහයට අනුකූල ව මෙම විෂය මානව යටගියාව හැදෑරීමේ විනය ක‍්‍රමයක් වශයෙන් ස්වාධීන විෂයක් ලෙස ස්ථාන ගත වෙයි. නමුත් ඇමරිකානු සම්ප‍්‍රදායේ දී මානවයා පිළිබඳ සමස්තය හදාරණ මානවවිද්‍යාවේ එක් අනු කොටසක් වශයෙන් පුරාවිද්‍යව ස්ථානගත වෙයි. මෙය පහත සටහන මඟින් පැහැදිළි කරගත හැකි වේ. (උපුටා ගැනීම : අබේ රත්නායක (1999), සමාජවිද්‍යා මානවවිද්‍යා න්‍යාය, පළමු කොටස,)
විෂය | උපවිෂය | විෂයක්‍ෂේත‍්‍රය | උපවිෂය ක්‍ෂේත‍්‍රය |
අස්ථි පිළිබඳ අධ්‍යයනය | |||
වස්ත‍්‍රාබරණ | |||
කාලනීර්ණ ක‍්‍රම | |||
පරිණාමික ජාන විද්‍යාව | |||
පුරාමානවවිද්‍යාව | අනුක ජානවිද්‍යාව | ||
පුරා කායව්‍යච්ඡේද විද්‍යාව | |||
පුරා ව්‍යාධිවේදය | |||
ප‍්‍රාථමික පුරාජීවවිද්‍යාව | |||
ක‍්‍රමවේදයන් | |||
ශායනික මානවවිද්‍යාව | |||
දන්ත මානවවිද්‍යාව | |||
සමෙහි විවිධතා | |||
ඇට සැකිළි පිළිබඳ විවිධතා | |||
මානව විවිධතා | මානව ජනවාකාශ විද්‍යාව | ||
මානව පරිසර විද්‍යාව | |||
මානව ජානවිද්‍යාව | |||
කායික මානවවිද්‍යාව | මානව වර්ධනය සහ දියුණුව | ||
පෝෂණය පිළිබඳ මානවවිද්‍යාව | |||
ප‍්‍රාථමික කායව්‍යවච්‌ඡේද විද්‍යාව | |||
ප‍්‍රාථමික ජීවීන් පිළිබඳ මානවවිද්‍යාව | ප‍්‍රාථමික ජීව හැසිරීම | ||
ප‍්‍රාථමික පරිසර විද්‍යාව | |||
මානවවිද්‍යාව | |||
පුරාවිද්‍යාත්මක මැනීම් | |||
පිඟන් භාණ්ඩ | |||
සංස්කෘතික සම්පත් පාලනය | |||
මානවවංශ පුරාවිද්‍යාව | |||
පුරාවිද්‍යාත්මක මානවවිද්‍යාව | ඓතිහාසික පුරාවිද්‍යාව | ||
නැමෙන සුළු භාණ්ඩ | |||
පුරාජනවිකාශ විද්‍යාව | |||
ජනාවාස විශේෂයන් | |||
සත්ව පුරාවිද්‍යාව | |||
සංස්කෘතික මානවවිද්‍යාව | |||
කලාව පිළිබඳ මානවවිද්‍යාව | |||
හරස් සංස්කෘතික අධ්‍යයන | |||
සංස්කෘතික පරිසර විද්‍යාව | |||
සංවර්ධන අධ්‍යයන | |||
ආර්ථික මානවවිද්‍යාව | |||
මානව ඉතිහාසය | |||
මානවවංශවිද්‍යාව | මානව සංගීතවේදය | ||
මානව තාක්‍ෂණික විද්‍යාව | |||
ඥාතීත්ව අධ්‍යයන | |||
සමාජ සංවිධානය | |||
සංකේත මානවවිද්‍යාව | |||
ආගමික විශ්වාස | |||
නාගරික මානව විද්‍යාව | |||
තුළනාත්මක වාග්විද්‍යාව | |||
සවිස්තරාත්මක වාග්විද්‍යාව | |||
මානව ශබ්ධාර්ථ විභාගය | |||
වාග්විද්‍යාත්මක මානවවිද්‍යාව | සමාජ වාග්විද්‍යාව | ||
ඓතිහාසික වාග්විද්‍යාව | |||
ව්‍යුහීය වාග්විද්‍යාව | |||
පරිණාමික ව්‍යාකරණ | |||
ප‍්‍රායෝගික මානවවිද්‍යාව |
මෙම සටහන අනුව මානවවිද්‍යාව නම් පුළුල් විෂය ක්‍ෂේත‍්‍රය යටතේ එන ‘පුරාවිද්‍යාත්මක මානවවිද්‍යාව’ නම් විෂයක්‍ෂේත‍්‍රයට පුරාවිද්‍යාත්මක තත්ත්වයන් හැදෑරීම් අයත් වන බව පෙන්නුම් කෙරේ. එහෙත් වත්මන් පුරාවිද්‍යාව නම් පුළුල් වර්ධිත විෂයක්‍ෂේත‍්‍රයට කායික මානව විද්‍යාව හා සංස්කෘතික මානව විද්‍යාව යන ක්‍ෂේත‍්‍රස්වයටම අදාළ විෂය කොටස් අන්තර්ග‍්‍රහණය වෙයි. ඒ අනුව පුරාමානවවිද්‍යාව, මානව විවිධතා, ප‍්‍රාථමික ජීවීන් පිළිබඳ මානවවිද්‍යාව, මානවවංශවිද්‍යාව හා වාග්විද්‍යාත්මක මානවවිද්‍යාව යන සෑම විෂය ක්‍ෂේත‍්‍රයකටම අදාළ විවිධ උපවිෂය ක්‍ෂේත‍්‍ර පිළිබඳ ව හැදෑරීම පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්ගේ දී අනිවාර්යය වෙයි. පුළුල් වශයෙන් සලකා බැලීමේ දී ස්වභාවික විද්‍යා හා සාමාජීයවිද්‍යා යන සෑම විෂයකම සම්බන්ධතාව පුරාවිද්‍යාවේ දී අවශ්‍යය වෙයි. පුළුල් සන්දර්භයක තබා විග‍්‍රහ කොට බැලීමේ දී යූරෝ කේන්‍ද්‍රීය විග‍්‍රයහයට වඩා ඇමරිකාණු කේන්‍ද්‍රීය විභජනය වඩාත් සාධාරණ හා පැහැදිළි බව පෙනි යයි.
මෙම පැහැදිලි කිරීම් සමස්ථයක් ලෙස ගෙන බැලීමේ දී මැනවින් ම පැහැදිලි වන්නේ පුරාවිද්‍යාව යනු සංකීර්ණ විෂය ක‍්‍රියාදාමයක් බව ය. එනම් මානව යටගියාව වටහා ගැනීම සඳහා, අර්ථකථනය කිරීම සඳහා ගොඩනඟා ගෙන ඇති විෂය ක්‍ෂේත‍්‍රයක් බව ය. ඒ අනුව, අතීත මානවයාෙගේ සංස්කෘතික චින්තනය හා පුරාමානවයා වටා වූ පරිසරාත්මක සබැදියාව ද්‍රව්‍යාත්මක අවශේෂ මත පදනම් වෙමින් විෂය මූලික හා මනෝමූලික තත්ත්වයන් වෙත සම්පේ‍්‍රරණය කරවීම පුරාවිද්‍යාව යනුවෙන් වටහාගත හැකි ය. වර්තමානයෙන් ඔබ්බෙහි වන එනම්, පුරාමානවයා හා සබැදි සමස්තතය පුරාවිද්‍යා අධ්‍යයනයන්ට ඉලක්ක වන අතර එබැවින් ම පුරාවිද්‍යාව බහුවිෂයික හා අන්තර් විෂයික සබඳතාවක් සහිත විෂයක් ලෙස ගොඩනැඟේ. මේ අනුව පුරාවිද්‍යාව යටතේ දී ස්වභාවික පරිසරය තුළ මානවයා තම පැවැත්ම තහවුරු කර ගන්නා ආකාරය හෙවත් සංස්කෘතික පරිසරය තම චින්තනය උපකාරයෙන් ගොඩනඟා ගැනීම පුරාවිද්‍යාව තුළ දී හැදෑරීමට ලක්වන අතර මෙම සමස්ත ක්‍රියාවලිය පහත රූප සටහනින් දැක්විය හැකිවෙයි (මෙම රූප සටහන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුදර්ශන් සෙනෛවිරත්න මහතා විසින් 2002 වසරේ දී පළමු වසර පුරාවිද්‍යා විද්‍යාර්ථීන් වෙනුවෙන් ඩී.ඊ. හෙට්ටිආරච්චි කලාගාරයේ දී සිදුකරන ලද දේශනයකින් උපුගන්නා ලද බව කාරුණිකව සලකන්න.).
මේ අනුව ස්වභාවික පරිසරය තුළ සිටින මිනිසා තම මනස භාවිත කරමින් තාක්ෂණය, ජනාවාස රටාව, සම්පත් පරිහරණය හා ජීවණ උපක‍්‍රමය යන කරුණු මඟින් තමා වටා සමාජ, දේශපාලන, ආර්ථික, හා සංස්කෘතික හා ආගමික ආයතන ගොඩනඟා ගන්නා අයුරු පුරාවිද්‍යාව මඟින් පැහැදිලි කර ගැනීමට උත්සහ දරයි.
පුරාවිද්‍යා අධ්‍යයන සඳහා භාවිත මූලාශ‍්‍රයවල ස්වභාවය
පුරාවිද්‍යාව යනු මානවයාගේ අතීතය පිළිබදව සිදු කරන අධ්‍යයනයක් බැවින් එහි ලා භාවිත කරන මූලාශ‍්‍රයන් පිළිබඳ ව අවබෝධයක් ලබාගැනීම අනිවාර්යය වේ. එනම් අතීතය ප‍්‍රතිනිර්මාණය අවකාශය මත, හිතලු මත ප‍්‍රතිනිර්මාණය වන්නක්ම නොව සප‍්‍රමාණ දත්ත මත ප‍්‍රතිනිර්මාණය වන්නකි. මෙලෙස මානව යටගියාව පිළිබඳ දත්ත අනාවරණය කර ගතහැකි මූලාශ‍්‍රය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කර හඳුනා ගත හැකි වේ.
1. ලිඛිත මූලාශ‍්‍රය හා 2. අලිඛිත මූලාශ‍්‍රය
මිනිසා විසින් තම මුවින් පිටවෙන ශබ්ද හෝ මනසේ චිත‍්‍රණය වූ සංකල්ප අන්‍යයනට දැන්වීම සඳහා නිර්මාණය කර ගන්නා ලද ලේඛනය මඟින් අවශේෂ වූ දේ ලිඛිත මූලාශ‍්‍රය වශයෙන් හඳුනාගත හැකි වේ. මේ අතර මීට වසර 3,000කට පමණ පෙර රචනා වූ මිසරයේ චිත‍්‍රාක්ෂර, සිරියාවේ කුඤ්ඤාක්ෂර, පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපි හරහා පෙරදිග හමුවන මහාභාරතය, රාමායනය, වේද ග‍්‍රන්ථ, පුරාණ ආදිය මෙන් ම දිවයිනෙන් වාර්තා වන්නා වූ මහාවංස, දීපවංස, ආදී වංසකතා ආදීන් ද අයත් වේ. මෙම ලිඛිත මූලාශ‍්‍රය මානව යටගියාව අධ්‍යයනය සම්බන්ධයෙන් ප‍්‍රබල උපයෝගීතාවක් දක්වන අතරම ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාව මේවා මත බොහෝදුරට රදා පවතින බව පෙනේ. මෙම මූලාශ‍්‍රය මඟින් අදින් වසර 5,000කට පමණ ඔබ්බට ගමන් කිරීමට නොහැකි වන්නේ මානව වර්ගයා සතුවන පැරණිම මූලාශ‍්‍රය ක‍්‍රිස්තු පූර්ව 3000 න් පමණ ඔබ්බට නොගන්නා බව විශ්වාස කරන බැවිනි. ඒ අනුව මෙම මූලාශ‍්‍රය යම් නිශ්චිත කාල පරාසයක් තුළ තම හැකියාව සීමා කරගන්නා බව පෙනී යයි.
මානව වර්ගයා පිළිබඳ කතාව වසර ලක්ෂ ගණනක් ඔබ්බට ගෙන යා හැකි වූත්, බහුල වූත් පුරාවිද්‍යා අධ්‍යයනයන් සඳහා බහුල වශයෙන් උපයෝගි කරගන්නා වූත් මූලාශ‍්‍රය විශේෂය ලෙස අලිඛිත මූලාශ‍්‍රය හඳුනාගත හැකි ය. මානවයා තම පරිණාම ගමන් මාර්ගයේ දී ශේෂගත කළ මානව අස්ථියක සිට සුසාන ගර්භ, කෑමට ගෙන ඉවත් කළ සත්ව අවශේෂ, නිර්මාණය කළ ශිලා මෙවලම් ආදිය හරහා ඔහු විසින් බැහැර කරන ලද බහිස‍්‍රාවීය ද්‍රව්‍ය දක්වා මෙම අලිඛිත මූලාශ‍්‍රය පුළුල් ක්‍ෂේත‍්‍රයක විසිරී පවතී. මෙම අලිඛිත මූලාශ‍්‍ර යන්න ද සූක්‍ෂ්ම ලෙස කොටස් ගණනාවකට ගෙන නැවතත් අවධානයට යොමු කිරීමට හැකි බව පෙනේ. (දක්වා ඇති වර්ගීකරණය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් කරන ලද්දක් බව කාරුණික ව සලකන්න.)
අ. පුරා මානව කෘති (arti-facts)
ආ. පරිසර කෘති (eco-facts)
ඇ. භූ කෘති (geo-facts)
ඈ. සත්ව කෘති (zoo-facts)
ඉ. වෙනත් (other) ආදි වශයෙනි.
මානවයා ගේ මැදිහත් වීම මඟින්, එසේ නොමැති නම් මානවයා විසින් සිදුකරන ලද ක‍්‍රියාවක් හේතුවෙන් නිර්මාණය වූ
අධ්‍යයන පහසුව සඳහා ද්‍රව්‍යාත්මක අවශේ්ෂ මූලාශ‍්‍රය මෙලෙස වර්ග කළ ද ඒවායේ ස්වභාවය සංකීර්ණ ස්වභාවයක් ගනී. සත්ව අස්ථියක් සත්ව කෘතියක් වන නමුත් මිනිසා ගේ මැදිහත් වීමෙන් මෙවලමක් බවට පත් කරණ ලද හෝ මස් කෑම සඳහා පුළුස්සන ලද අස්ථියක් මානව කෘතියක් වීම උදාහරණ වශයෙන් සපයාගත හැකි ය. අනෙක් අතට ලිඛිත මූලාශ‍්‍රය යටතට ගැනෙන සියල්ල ම පායේ මානව මැදිහත්මක් දක්වන බැවින් ඒවා සියල්ල ම තවත් අතකට මානව කෘති වශයෙන් හඳුනා ගැනීම ද වැරදි නොවේ.
ප‍්‍රාග්, පූර්ව හා ඓතිහාසික පුරාවිද්‍යාව
උක්ත සාකච්ඡා කළ මූලාශ‍්‍රයන්ගේ විසදෘෂතාව මත පුරාවිද්‍යා විෂය පුළුල් වශයෙන් ප‍්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාව (Prehistoric Archaeology), ප්‍රොටෝ ඓතිහාසික පුරාවිද්‍යාව (Proto-historic Archaeology) හා ඓතිහාසික පුරාවිද්‍යාව (Historic Archaeology) යනුවෙන් වෙන් කිරීමට හැකි වේ. ඒ අනුව නිශ්චිත වශයෙන් ම ලේඛනය හෙවත් අක්‍ෂර ක‍්‍රමයක් පවත්නා යුගයට අයත් සංසිද්ධියක් පිළිබඳ ව අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් සිදු කරන්නේ නම් එය ඓතිහාසික පුරාවිද්‍යාව යටතට ගැනේ. එලෙස ලේඛන සාධක නොමැති යුගය හෙවත් ප‍්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳ ව සිදු කරන නොහොත් එම යුගයට අයත් අධ්‍යයන ප‍්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාව යටතට වැටේ. පෙරදිග රටවල හෙවත් භාරතය, ලංකාවන ආදී රටවල පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීමේ දී උක්ත ක්‍ෂේත‍්‍රද්වය අතරෙහි ලා ගැනෙන ප්‍රොටෝ ඓතිහාසික පුරාවිද්‍යාව යන්න හමු වෙයි. මේ මඟින් නිශ්චිත වශයෙන් මේ වනතෙක් භාෂාමය අක්‍ෂර ලෙස හෙවත් ලිඛිතමය සාධක යනුවෙන් අර්ථ නොදැක් වූ එහෙත් යම් අයුරෙක අක්‍ෂරමය සාධක යනුවෙන් උපකල්පනය කළ හැකි සාධක විශේෂයන් හමුවන යුගය සම්බන්ධයෙන් සිදු කරන අධ්‍යයන අදාළ වෙයි.
මේ අනුව සළකා බැලීමේ දී ලංකාව සම්බන්ධයෙන් මේ එක් එක් ක්‍ෂේත‍්‍රයනට අදාළ කාලපරාසයන් නිශ්චය කිරීමේ හැකියාව ලැබේ. මෙතෙක් සිදුකොට ඇති අභිලේඛනමය අධ්‍යයන අනුව දිවයිනේ පැරණිතම අක්‍ෂර පිළිබඳ සාධක විද්වතුන්ගේ පොදු එකඟතාවෙන් ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේ ස්ථාපනය කොට ඇත්තේ ය. ඒ අනුව තත් කාලයේ සිට අද දක්වා කාලපරාසය අළලා සිදු කරන පුරාවිද්‍යාත්මක අධ්‍යයන ඓතිහාසික පුරාවිද්‍යාව යටතට වැටේ. එහෙත් ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දෙන අයුරින් දිවයිනේ පූර්වබ‍්‍රාහ්මී අක්‍ෂර භාවිතය පිළිබඳ ඈතම සීමාව ක‍්‍රිස්තු පූර්ව 5/6 සියවස් දක්වා ගමන් කරන බව උගතුන් විසින් පොදුවේ පිළිගතහොත් එදින සිය දිවයිනේ ඓතිහාසික කාලපරිච්‌ෙඡේදය එම කාලය දක්වා ගමන් කරනු ඇත. අදින් වසර 125,000/250,000 පමණ ඈත කාලයක සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 පමණ දක්වා කාලයක් නියෝජනය වන පරිදි ප‍්‍රාග්ඓතිහාසික සාධක ලැබෙන බැවින් එම කාල පරාසය දැනට ප‍්‍රාග්ඓතිහාසික කාලපරිච්ෙඡ්දය වශයෙන් පිළිගනු ලැබේ. එබැවින් එම කාල පරාසයට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව අයත් වෙයි. එමෙන් ම ක‍්‍රිස්තු පූර්ව 1, 000ත් ක‍්‍රිස්තු පූරිව 300ත් අතර කාලය සම්බන්ධයෙන් විවිධ සංකේත හමුවන අතර ඒවා අක්‍ෂර ද? අක්‍ෂර නොවේ ද? අක්‍ෂර නම් ස්වරාක්‍ෂර විශේෂයක් ද? නො එසේනම් චිත‍්‍රාක්‍ෂර විශේෂයක් ද? ආදී වශයෙන් ඒවා තවම නිසැක ලෙස අර්ථ දක්වා නොමැති බැවින් ඉතිහාස යුගයට මුල් වූ නොහොත් පදනම සැකැසූ යුගය වශයෙන් මෙම යුගය ප්‍රොටෝ ඓතිහාසික යුගය නම් වෙයි. මොහන්ජදාරො හරප්පා ශිෂ්ටාචාරයනට අයත් ඵලක මත ඇති මුද්‍රා, ලංකාවේ ප්‍රොටෝ ඓතිහාසික ස්මාරකයන්ගෙන් හමුවන සංකේත ආදිය මේ සඳහා උදාහරණ සපයයි. එබැවින් මෙම කාලයට අයත් ලෙස සිදු කරන පර්යේෂණ ප්‍රොටෝ ඓතිහාසික පුරාවිද්‍යාව යටතට අයත් වෙයි. යම් අයුරකින් මෙම යුගයට අදාළ නිසැක ලෙස හඳුනා නොගත් සංකේත අක්‍ෂර වශයෙන් හඳුනා ගෙන ඒවායින් ගම්‍ය අර්ථ වටහා ගතහොත් මෙම සංකේත අයත් යුගය ද ඓතිහාසික කාලපරිච්ෙඡ්දයට ම අයත් කළ හැකි වන්නේ ය.
පුරාවිද්‍යා අධ්‍යයන ක‍්‍රියාවලිය
මිනිසා විසින් සිදුකරන ඕනෑම කාර්යයක් සඳහා හිමි ක‍්‍රියාවලියක් පවතීී. සරල ලෙස සලකා බැලුව හොත් යම් ආකාරයක් සකස් කිරීමේ දී ද යම් ආකාරයක ක‍්‍රියාවලියක් ඒ තුළ හඳුනාගත හැකි වනු ඇත. එ් අනුව විධිමත් විනය ක‍්‍රමයක් වන පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ද පොදු වශයෙන් අධ්‍යයන කියාවලියක් හඳුනාගත හැකිවනු ඇත. පුරාවිද්‍යා අධ්‍යයනය සමස්ථයක් වශයෙන් සලකා බැලීමේ දී මෙය හඳුනාගත හැකි නමුත් එක් එක් අධ්‍යයන වෙන්වෙන් කොට ගෙන බැලීමේ දී මෙම ක‍්‍රමවේදය නොහොත් ක‍්‍රියාවලිය සෘජුව ම දෘෂ්‍යමාන නොවුවත් සමස්ථයක් ලෙස මෙහි අන්තර්ගත වීම අනිවාර්යය වෙයි.
ඒ අනුව; අ. දත්ත හඳුනා ගැනීම, ආ. දත්ත ග‍්‍රහණය කර ගැනීම, ඇ. දත්ත සංස්ලේශනය/විශ්ලේශනය කිරීම හා ඈ. ඉදිරිපත් කිරීම, යන ක‍්‍රියාවලිය දැක ගත හැකි වේ. මෙම ක‍්‍රියාවලිය දක්වා ඇති අනුපිළිවලින් ම නොවන අවස්ථා ද පවතී.
ඕනෑම පුරාවිද්‍යා අධ්‍යයනයක දී ‘දත්ත හඳුනා ගැනීම’ එහි මූලික කරුණ වෙයි. ඒ අනුව දත්තවල ස්වභාවය හා ව්‍යාප්තිය, පරාසය මෙන්ම අධ්‍යයනය සඳහා වන න්‍යායාතමක එළඹුම ද මනාව ග‍්‍රහණය කරගැනීම සිදුවනු ඇත. දළ වශයෙන් පුස්තකාල හා ලේඛනාගාර අධ්‍යයන මඟින් අධ්‍යයනයේ භෞතික හා අභෞතික ව්‍යාප්තිය හා ස්වභාවය හඳුනා ගැනීම මේ යටතේ දී මූලිකව සිදු වෙයි.
යම් අධ්‍යයනයකට අදාළ ව දැකගත හැකි අනෙක් ලක්‍ෂණය වන්නේ දත්ත ග‍්‍රහණය කරගැනීම යි. ප‍්‍රායෝගික ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යාව යටතේ ද මෙම කාර්යයන් ඉහළ ප‍්‍රමාණයක් සිදු වෙයි. පුරාවිද්‍යාත්මක ගවේෂණය, පුරාවිද්‍යාත්මක කැනීම් දත්ත ග‍්‍රහණය කරගැනීම සඳහා සිදුකරන ප‍්‍රධානම ක‍්‍රමයන් වෙයි. විධිමත් පුරාවිද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව සන්දර්භානුකූලව අධ්‍යයනයට අදාලව ලබාගත හැකි සෑම දත්තයක් ම ගබා ගැනීම පුරාවිද්‍යාඥයාගේ විශේෂ වගකීම හා යුතුකම වෙයි. මෙහි දී ක්‍ෂේත‍්‍ර නොවන ගවේෂණයන්ගෙන් ලබා ගන්නා පූර්ව අධ්‍යයන, කාලගුණ, දේශගුණ තත්ත්ව ආදියේ පටන් පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක දී ග‍්‍රහණය කරගන්නා මැටි බදුන්, සත්ව අස්ථි, වාස්තුවිද්‍යා අවශේෂ ආදී පුළුල් පරාසයක දත්ත ග‍්‍රහණය කරගැනීම සිදු වෙයි.
පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක දී හඳුනාගත හැකි වැදගත් ම හා තීරණාත්මක ක‍්‍රියාවලියක් වශයෙන් දත්ත සංස්ලේෂණය හා විශ්ලේෂණය හඳුනාගත හැකි වෙයි. පුරාවිද්‍යඥයා සතු විශ්ලේෂණ හැකියාව මත ග‍්‍රහණය කරගත් දත්ත ඒවායේ විශේෂ ගුණාංගයන් හා ස්ථරානුකූල පදනම මත සංස්ලේෂණය සිදුවන අතර අනතුරු ව එම සංස්ලේෂණය මත පදනම් වෙමින් විශ්ලේෂණ කටයුතු සිදුවෙයි. පුරාවිද්‍යඥයා හෝ පුරාවිද්‍යඥ කණ්ඩායම සතු විශේෂ හැකියාවන් හා දක්ෂතාවන් මත මෙම කාර්යය ප‍්‍රබලත්වය හා අනන්‍යතාව රදා පවතී. විෂය මූලික දත්තයන් පුරාවිද්‍යාඥයා විසින් න්‍යායවාදී මූලාංග උපකෘත කොට ගැනීමෙන් අනතුරු ව මනෝමූලික තත්ත්වයක් මඟින් උපකල්පනික එළඹුම් ඔස්සේ නව දැනුමක් බවට පත් වන්නේ මෙම අවස්ථාවේ දී ය. මෙහි දී දත්ත ඒවායින් ලබාගත හැකි සෑම කරුණක්ම ලබාගත හැකි පරිදි මෙහෙය වීම පුරාවිද්‍යාඥයා සතු ප‍්‍රබලම වගකීම වන අතර එම දත්ත ඔස්සේ එසේ ග‍්‍රහණය කරගන්නා තොරතුරු මානව යටගියාව පිළිඹිඹු කරන අලුත් දැනුමක් නිර්මාණය කරනු ඇත.
මෙසේ පුරාවිද්‍යාත්මක දත්ත අනුසාරයෙන් නිර්මාණය කරගන්නා නව දැනුම අන්‍යයන් වෙත පේ‍්‍රෂණය කිරීම, ඉදිරිපත් කිරීම යටතට ගැනේ. මෙහි දී මානව යටගියාවේ අවස්ථාවක් හෝ තත්ත්වයක් පිළිබඳව ගොඩනඟන ලද කරුණු ග‍්‍රන්ථයක්, වාර්තාවක්, ප‍්‍රකාශනයක්, රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහනක්, ප‍්‍රදර්ශනයක් ආදී ඔ්නෑම මහජන සංනිවේදන ක‍්‍රියාවලියක් මඟින් සමාජය සතු කිරීම සිදුවිය යුතු ය. එසේ නොකිරීම පුරාවිද්‍යාඥයා වෙත මානව වර්ගයාගේ යටගියාව වෙතින් පැවරුණු වගකීම ඉටු නොකිරීමක් වනු ඇත. එබැවින්ය ලෝකප‍්‍රකට සම්භාව්‍ය පුරාවිද්‍යාඥ විලියම් ප්ලින්ඩර්ස් පේටි‍්‍ර විසින් ලියා තැබුයේ යම් පුරාවිද්‍යාඥයෙක් එක් කැනීමක් සිදුකර එහි වාර්තාව ප‍්‍රකාශයට පත් නොකොට තවත් කැනීමක් කරයි නම් එම කැනීමත් සොරෙන් නිධන් හෑරීමත් අතර වෙනසක් නොමැති බව.
පුරාවිද්‍යාවේ බහු විෂයීක හා අන්තර් විෂයීක බව
ඉහත සාකච්ඡා කළ පරිදි පුරාවිද්‍යාව යනු මානවයා ගේ යටගියාව පිළිබඳ ව පුළුල් දෘෂ්ටියකින් හදාරණ විෂය බව පෙනී යයි. ඒ අනුව පුරා මානවයා හා ඔහු වටා වූ සමස්ථයම පිළිබඳ ව ද්‍රව්‍යාත්මක අවශේෂ මත පදනම් වෙමින් හැදෑරීමට පුරාවිද්‍යාඥයාට සිදුවෙයි. වර්තමාන මානවයා දෙස අවධානය යොමු කළහොත් ඔහු වටා දේශපාලන ක‍්‍රියාකාරකම්, ආර්ථික ක‍්‍රියාකාරකම්, ආගමික හා අභිචාරාත්මක ක‍්‍රියාකාරකම්, සාහිත්‍ය හා කලා ක‍්‍රියාකාරකම්, භාණ්ඩ හා සේවා හුවමාරුව, ස්වභාවික පරිසරය සමඟ වන සහයෝගිතාත්මක හා ඝර්ෂණීය සබඳතා ආදී කරුණු රැසක් පමණක් නොව භෞතික මානව විද්‍යාත්මක කරුණු හා මනෝ විද්‍යාත්මක කරුණු ද ආදී වශයෙන් සංකීර්ණ කරුණූ කරණා රැසක් ක‍්‍රියාත්මක වෙමින් පවත්නා බව පෙනී යයි. වර්තමානයේ මෙම එක් එක් ක්‍ෂේත‍්‍ර පිළිබඳ ව අවධානය යොමු කරමින් අධ්‍යයනය කිරීම සඳහා විවිධ විෂයන් හා විද්‍යාවන් රැසක් බිහි වී ඇති බව පෙනී යයි. පුරා සංදර්භයකට මෙම කරුණු ආදේශ කර බැලීමේදීත් මේ හා සමානම සංස්කෘතික හා ස්වභාවික වටපිටාවකින් සම කාලීන මානවයා වෙලී සිටි බව මැනවින් පැහැදිලි වෙයි. එබැවින්, නූතන වට පිටාවක ජීවත් වන විද්‍යාඥයාට ද්‍රව්‍යාත්මක අවශේෂ ඇසුරින් පුරා මානවයා පිළිබඳ ව යථාවාදී අර්ථකතනයකට එළැඹීමට නම් මේ ආකාරයෙන් මානවයා වටා ඇති සෑම විෂයක් ගැන ම පාහේ ප‍්‍රමාණාත්මක දැනුමක් අවබෝධයක් පැවතිය යුතු වීම අනිවාර්යය වෙයි. එසේ නොමැති නම් ද්‍රව්‍යාත්මක අවශේෂ ඔස්සේ අතීත මානවයා පිළිබඳ ව ඔහු ගොඩනැගූ කථාව යථාරූපී හෙවත් සංගත නොවීමේ සම්භාවිතාව ඉහළ වෙයි. නමුත් පුරාවිද්‍යඥයා එම සියලු විෂයන් ගේ පරතෙර පත් විශේෂඥයකු විය යුතු යැයි මින් අදහස් නොවේ.
පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් විටෙක ඒක පුද්ගල කේන්ද්‍රීය අධ්‍යයනයක් විය හැකි නමුත් බොහෝ විට කණ්ඩායමි විෂයක් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එහි දී පර්යේෂකයන්, තාක්ෂණික ශිල්පීන්, පරිපාලකයන්, කළමනාකරුවන්, විවිධ විද්‍යාඥයන්, කම්කරුවන් හා සාමාන්‍ය ජනයා ආදී විවිධ පිරිස් හා කොටස් සමඟ සම්බන්ධ වීම අනිවාර්යයෙන් සිදු වෙයි. එබැවින් නැවත වරක් තත් විෂය එම විවිධ පිරිස් හා කටයුතු කිරීමේ දී සංකීර්ණ හැසිරීම් රටාවක් ගත යුතු ය. එහි දී පුරාවිද්‍යාඥයා විවිධ කොටස් අතර සම්බන්ධීකාරකයකු, මුදල් පාලකයකු, පරිපාලකයකු ආදී වශයෙන් විවිධ තත්ත්වයන් නිරූපණය කිරීමට සිදුවෙයි.
මේ කරුණු අනුව පෙනී යන්නේ පුරාවිද්‍යාව යනු හුදකලා විෂයක් නොව විවිධ විෂය රාශියකින් යැපෙන, මේවා මත රදාපවත්නා හා විෂය ගණනාවක ඥානපථය හසුරවන හා ක‍්‍රියාත්මක වන විෂයක් බව ය.
පුරාවිද්‍යාව හා අනුවිෂයන්
පුරාවිද්‍යාව ගෝලීය මට්ටමින් 1950 දශකයෙන් පමණ පසුව ශීඝ‍්‍ර වර්ධනයක් අත් කරගන්නා බව ලෝක පුරාවිද්‍යාවේ ඉතිහාසය දෙස බැලීමෙන් පෙනී යයි. ඒ අනුව පුරා මානවයා සතු සමස්තය මනාව ග‍්‍රහණය කරගැනීම සඳහා පුරාවිද්‍යා ප‍්‍රධාන විෂය ධාරාව තුළ අනුවිෂය ධාරා රැසක් වර්ධනය වීමට පටන් ගනී. ඒ අනුව එක් එක් ක්‍ෂේත‍්‍ර ආවරණය කරමින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව, බයිබල් පුරාවිද්‍යාව, ඓතිහාසික පුරාවිද්‍යාව, ප‍්‍රජානක පුරාවිද්‍යාව, මානවවංශ පුරාවිද්‍යාව, කාර්මික පුරාවිද්‍යාව, අභිලේඛන අධ්‍යයනය, කාසි පිළිබඳ අධ්‍යයනය ආදී වශයෙන් අනුවිෂය ධාරා රැසක් යටතේ මේ වන විට වර්ධනය වී පවතී.
ඉතිහාසය හා පුරාවිද්‍යාව
මානව යටගියාව සම්බන්ධයෙන් හදාරන විෂය දෙකක් වශයෙන් ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂයද්වය හඳුනාගත හැකි ය. එනම් අතීතය තුළ සිදු වූ විවිධ සිදුවීම්, සංසිද්ධීන් හැදෑරීම හා අවබෝධ කොට ගැනීම මෙම විෂය දෙකේම හරය වශයෙන් හඳුනා ගත හැකි ය. සරළාර්ථයෙන් මානව යටගියාව හැදෑරීම මෙම විෂයද්වයෙන්ම සිදුවන්නේ නම් එක ම කාර්යය සඳහා විෂය දෙකක් පවතින්නේ කුමට ද? යන්න මේ සමඟ ම ඇතිවන්නා වූ ප‍්‍රශ්නයකි. පරමාර්ථයෙන් මෙම විෂය දෙකින් ම මානව යටගියාව පිළිබඳ ව හැදෑරීම ලක් කළ ද මෙම විෂය දෙක අතර සියුම් එනම් ප‍්‍රබල වෙනසක් හෙවත් ඒවාට ම ද්විවිධ ස්වරූපයක් පවතී. මෙම ද්විවිධ ස්වරූපය ජනනය වීම සඳහා ඉවහල් වන මූලාශ‍්‍රය පදනම් වෙයි.
ඉතිහාස විෂය ධාරාව යටතේ දී සාමාන්‍ය වශයෙන් ප‍්‍රධාන මූලාශ‍්‍රය ලෙස උපකෘත වන්නේ ලිඛිත මූලාශ‍්‍රයයි. ඒ යටතේ අභිලේඛන හා වෙනත් අක්ෂර මඟින් ප‍්‍රකාශිත මූලාශ‍්‍රය පදනම් වෙයි. ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් සෙල්ලිපි, දීපවංශය, මහාවංශය ආදී වංශකථා, අටුවා, විවිධ සාහිත්‍ය ග‍්‍රන්ථ, විදේශීය සාහිත්‍යමය කෘති, දේශීය හා විදේශීය සංචාරකයන් ගේ වාර්තා, වෙළෙඳ වාර්තා, පරිපාලක සටහන් ආදී ලිඛිත ස්වරූපයෙන් පවත්නා මූලාශ‍්‍රය ඉතිහාස අධ්‍යයන සඳහා භාවිත වෙයි. එබැවින් විද්වතුන් විසින් පොදුවේ පිළිගෙන ඇති පරිදි දිවයිනේ පැරණිම ලේඛන වන්නේ ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පමණ අයත් පූර්ව බ‍්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කරන ලද සෙල්ලිපි වන අතර, අනුරාධපුර ඇතුළුනුවර ප‍්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මත ආචාර්ය සිරාන් උපේන්ද්ර දැරණියගල පෙන්වා දෙන අයුරින් ලංකාවේ ලේඛනය පිළිබඳ පැරණිම සාදක ක‍්‍රිස්තු පූර්ව 5/6 සියවස් දක්වා ඈතට ගමන් කළ හැකි ය. ඒ අනුව, පැහැදිලි වන්නේ ඉතිහාසය විෂය ධාරාව යටතේ දී ලංකාව සම්බන්ධයෙන් ගමන් කළ හැකි උපරීම අවස්ථාව ක‍්‍රිස්තු පූර්ව 3/4 සියවස් හෝ 5/6 සියවස් දක්වා පමණක් බව ය. ලෝක මට්ටමේ දී ද තත්ත්වය මේ හා සමාන ව පැහැදිලි ලෙස අක්ෂර කලාවක් හඳුනාගත හැකි කාල පරාසයට පමණක් ඉතිහාස විෂය ධාරාව අධ්‍යයන සීමා වෙයි. එහෙත් පුරාවිද්‍යා විෂයේ දී ප‍්‍රධාන වශයෙන් ද්‍රව්‍යාත්මක අවශේෂ හෙවත් ද්‍රව්‍යාත්මක මූලාශ‍්‍රය මත පදනම් වන හෙයින් මෙවැනි ගැටළුවක් ඒ සම්බන්ධව පැන නොගනී. එනම් මානවයා හා ඔහු ගේ යටගියාව පිළීබඳ ව තොරතුරු අනාවරණය කළ හැකි කිනම් කාල පරාසයකට ද්‍රව්‍යාත්මක අවශේෂ ගමන් කරන්නේ ද? එම කාල පරාසය දක්වා පුරාවිද්‍යාත්මක අධ්‍යයන ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතී. ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීමේ දී වර්තමානය වන විට පුරාවිද්‍යාත්මක අධ්‍යයන ක‍්‍රිස්තු පූර්ව 125,000ක පමණ කාලයක් ඈතට ගමන් ගන්නා බව පෙනේ. එනම් ඉරණමඩු පාංශු සංගතියට අයත් බූන්දල, පතිරාජවෙල ආදී ස්ථානයන්ගෙන් වාර්තා වූ ශිලා මෙවලම් මෙම අධ්‍යයනය සඳහා පදනම සැකසීය. ඒ අනුව පුරාවිද්‍යාත්මක අධ්‍යයන අදින් වසර 125,000ක් පමණ ඈතට නිසැක වශයෙන් ගමන් ගන්නා බව පැහැදිලි වෙයි. ආචාර්ය සිරාන් දැරණියගල අපේක්‍ෂා කරන අයුරින් අදින් වසර 250,000 හෝ 500,000ක් පමණ ඈතට ගමන් ගන්නා සාධක දිවයිනෙන් අණාවරණය වුවහොත් පුරාවිද්‍යාත්මක අධ්‍යයන එතරම් කලක් දක්වා ඈතට ගමන් ගත හැකි බව ද පෙනී යයි.
අතීතය පිළිබඳ අධ්‍යයනයන් හීදී මෙම කාල පරාසයෙන් ඔබ කාලය අධ්‍යයනය භූ විද්‍යාඥයන්ට සපුරාම පාහේ අයත් වෙයි. එනම් පෘථිවියේ හා එහි පාංශු සැකැස්ම ආදිය පිළිබඳ ව ඉතා දිගු කාල පරාසයක් දක්වා දිවයන අධ්‍යයන මෙහෙය වීම භූ විද්‍යාඥයන් හට පැවරේ.
සාකච්ඡාව
ඉහත සාකච්ඡා කළ පරිදි පුරාවිද්‍යාව යන්න බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක සබඳතාවකින් යුත් මානව යටගියාව අනාවරණය කරන විනය ක‍්‍රමයක් බව පැහැදිලි වේ. එ මෙන්ම සිද්ධාන්තමය කරුණු මත රදා පවතිමින් විවිධ පරාසයන් වෙත තම ප‍්‍රායෝගික ක‍්‍රියාන්විතයන් මෙහෙයවන, එ මගින් මානව අතීතය වර්තමානය මත ප‍්‍රතිනිර්මාණය කරන්නා වූ විෂයකි. මෙහි දී අලිඛිත, ද්‍රව්‍යාත්මක මූලාශ‍්‍රය මත තම රදා පැවැත්ම පුරාවිද්‍යාව සකසා ගත්ත ද එහි විෂය ස්වභාවය අනුව ම ලිඛිත එනම් ඓතිහාසික යුගයට අදාල විවිධ මූලාශ‍්‍රය ද තුළනාත්මක අධ්‍යයන රාමුවක් මත විග‍්‍රහ කිරීමේ හැකියාව ලබා ගත්තකි. ඒ අනුව, ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හෝ ප‍්‍රාග් ඓතිහාසික කාල රාමුවක් තුළ තම අනන්‍ය දෘඩ බව පතුරන්නා වූ වර්ථමාන හෝ අනාගත පරම්පරාවන් විසින් කිසිසේත් ම අත් නොහැරිය හැකි විණය ක‍්‍රමයක් වශයෙන් විනිශ්චය කිරීමේ හැකියාව ලබා ගනී.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය
- රත්නායක, ඒ. (1999), සමාජවිද්‍යා මානවවිද්‍යා න්‍යාය, පළමු කොටස, කර්තෘ ප‍්‍රකාශනයකි.
- දැරණියගල, එස්. යූ. (1990), පුරාවිද්‍යා කැණීම් 1968-1990, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, පළමු වන වෙළුම, පරි. කේ. බී. ඒ. එඞ්මන්ඞ්, ප‍්‍ර. සංස්. එන්. විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය, සමරු පොත් පෙල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
- වූලී, ලෙනාඞ් (1969), අතීතය හාරා බැලීම, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.
- Oxford Advanced Learners Dictionary of Current English, (Chief ed. S. Wehmeier), (2005), Oxford University Press, Oxford,
- Rajan, K. (2002), Archaeology Principles and Methods, Manoo Pathippakam, Thanjavur.
- The American Heritage Dictionary of The English Language, Third edition, (—-), Houghton Mifflia Company, New York.
- The Encyclopedia Americana (1958), Americana Corporation, New York.
- The New Encyclopedia Britannica Vol. I. (1978), Encyclopedia Britannica Inc, Chicago.
- The Oxford English Reference Dictionary, Second Edition, (ed.by. J. Pearsall & B. Trumble), (1996), Oxford University Press, Oxford.
—————————————————————————————
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018 ජූලි 4 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
—————————————————————————————
archaeology.lk සමාජ මෙහෙවරක් : වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා උපාධිධාරියා සඳහා වූ ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම 2018
පසුගිය වසර නමයක කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම හා තොරතුරු සිංහල හා ඉංග‍්‍රීසි යන දෙ බසින් විශ්වව්‍යාප්තගත කරමින් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කළ ලංකාවේ ප‍්‍රමුඛතම වෙබ් සමූහය වන ජාතික හා ජාත්‍යන්තර සම්මාණලාභිි archaeology.lk කණ්ඩායම අට වැනි සත්වත්සරය සමරමින් 2017 වසරේ සිට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ දක්‍ෂතම විද්‍යාර්ථියාගේ සාමාර්ථ්‍ය ඇඟයීම සඳහා රන් පදක්කමක් පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇත. ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව උදෙසා විශිෂ්ඨ සම්ප‍්‍රදානයක් සිදු කළ විශිෂ්ට විද්වතුන් දෙපළක් වූ අාචාර්ය පෝල් එඩ්වවර්ඞ් පීරිස් දැරණියගල හා ආචාර්ය සිරාන් උපේන්ද්ර දැරණියගල යන පිය-පුතු විද්වතුන් දෙපලගෙන් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්තතිය හා ප‍්‍රගමනය උදෙසා සිදු වූ අමරණීය සේවය ස්මරණය කරමින් මෙම රන්පදක්කමක් පිරිනමනු ලබයි.
2018 මැයි 30 වැනි දින මිහින්තලේ, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානොත්සව ශාලාවේ දී පවත්වන ලද උපාධි ප‍්‍රදානෝත්සවයේ දී මෙම වසරේ දක්‍ෂතම ශිෂ්‍යාට හිමි ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම ශාලිකා කුරුණායක මෙනවිය විසින් හිමිකර ගැනීමට සමත් විය.
ශාලිකා කුරුණායක මෙනවියට archaeology.lk කණ්ඩායමේ උණුසුම් සුභපැතුම් පළ කරමු.
ශාලිකා කුරුණායක
ශාලිකා කුරුණායක මෙනවිය ආචාර්ය පෝල් ඊ.පී දැරණියගල හා ආචාර්ය සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුණතා රන් පදක්කම හා සහතික පත‍්‍රය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාා වෙතින් ලබා ගන්නා අවස්ථාව දැක්වෙන විඩීයෝව පහතින් දක්වා ඇත.
මිහින්තලේ – සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උපත
තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී කතා පුවත් වලට සම්බන්ද කොට ඇති බව ග්‍රීක, රෝම හා ඉන්දියානු ආදී පුරාවෘත කියවීමේ දී අපට පෙනී යයි. සිංහලයන්ගේ ආරම්භය ගැන ද හයවන සියවසේ දී පමණ ලියු වංශ කතාවල ද සඳහන් කොට ඇත්තේ අද්භූත සිද්ධීන්ගෙන් සපිරි උත්පත්ති කතාවන්ය. විශ්වාස කළ නොහැකි සිද්ධි ගණනාවක් වංශ කථාවල ඇතුළත් වුවත් ක්‍රිස්තු පුර්ව පස්වන සියවසේ දී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය භාෂාවක් කතාකළ ඉන්දු ආර්ය ජනතාවක් මේ දිවයිනේ පදිංචි වූ බව නම් සත්‍යයකි. ඔවුන් සිංහලයන් ලෙස හැඳීන් වූ අතර ඔවුන් වාසය කළ දිවයින සිංහලද්වීප යනුවෙන් පැරණි සංස්කෘත පොත් වල සඳහන් කොට ඇත.
ඉන්දියාවේ අශෝක රජතුමා මෞර්ය රාජ්‍යය පුළුල් කිරීමට යාමේ දී මිනිසුන්ට සිදු වූ විපත් ගැන කලකිරී යුද කටයුතු අතහැර බුද්ධ ධර්මය කෙරෙහි යොමුව එය ප්‍රචාරය කිරීම මගින් දේශයන් දිනා ගැනීමට කටයුතු කරනු ලැබිණ. අශෝක රජු සිංහලයේ පාලකයා වූ තිස්ස සමග විශේෂ සබඳතාවයක් පවත්වා ඇත. ඔහු තිස්සට රාජාභිෂේකය සඳහා අවශ්‍ය සියලු උපකරණ ප්‍රදානය කොට තිස්ස සිංහලයේ රජු ලෙස රාජාභිෂේක කරවන්නට සහාය විය. සිංහලයේ රාජාභිෂේක ලත් පළමු වැන්නා බවට තිස්ස පත්විණ. ‘දෙවියන්ට ප්‍රිය වූ’ යන අරුතින් (දේවානම් පිය) දෙවන පෑ යන නාමය ද ඔහුගේ නමේ මුලට යෙදී දේවානම් පියතිස්ස නැතහොත් දෙවන පෑ තිස් නමින් ඔහු හැඳින්විණ (දේවානම් පිය යන නාමය අශෝක රජුගෙන් පසු වසර 200 ක් පමණ වනතුරු සිංහලයේ රජවරු භාවිත කොට ඇත).
බුදු දහම අනුගමනය කල අශෝක රජු තම හිතවත් සිංහලයේ තිස්ස රජු ද බුදු දහමට නැඹුරු කරවීම සඳහා ඔහුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල ආදී රහතන් වහන්සේලා පිරිසක් ක්‍රිස්තු පුර්ව 247 පොසොන් මස පුර පසළොස්වක පෝය දින සිංහලයට එවන ලදී. මේ පිරිස තිස්ස රජුට හමුවුයේ මිහින්තලේ දි ය. තිස්ස රජුගේ බුද්ධිය පරික්ෂා කොට ඔහුට පළමුවන ධර්ම දේශනය වූ චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලද්දේ මිහින්තලයේ සිටයි. මිහිඳු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සිංහලයට පැමිණීමෙන් පසුව වාසය කලේ මිහින්තලයේ ය. එහෙයින් සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වූ ස්ථානය මිහින්තලයයි. මිහින්තලේ සෑ ගිරිය හා චේතිය පබ්බත විහාරය නමින් ද හඳුන්වා ඇත.
අනුරාධපුර නගරයට කිලෝමීටර් 15ක් පමණ නැඟෙනහිරින් මිහින්තලය පිහිටා ඇත. මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1,000ක් පමණ උස ශේෂ කඳු ගැට හතරක් ඇත. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68ක් කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් තනවා ඇත.
ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ද මෙහි රෝපණය කරවා ඇත.

වර්තමාන බෝධිය
වෙදහල්, දන්හල්, ආරාම, චෛත්‍ය ආදී විශේෂ වාස්තුවිද්‍යාත්මක ස්මාරක රැසක නටබුන් මිහින්තලේ ඇත. මේ ප්‍රදේශයෙන් සොයාගන්නා ලද වටිනා පුරාවස්තු රාශියක් මිහින්තලේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
පියගැට පෙළ
දෙපස වූ අරලිය ගස්වලින් සෙවන වී ඇති පියගැට පෙළ මිහින්තලේ අනන්‍යතා ලක්ෂණයකි. අද්විතීය නිර්මාණයකි. මේ පියගැට පෙළ කොටස් කීපයකින් යුක්ත ය. ඒ කන්ද පාමුල සිට මැද මලුව තෙක්, එතැන් සිට කණ්ටක චේතිය දක්වා, මැද මලුවේ සිට අම්භස්තලය දක්වා, උඩ මළුවේ සිට මහා සෑය දක්වා ආදී වශයෙනි. මිහින්තලේ මුළු පියගැට පෙළ ගණන 1840ක් පමණවේ. මේවා අතර ස්වාභාවික ගලේ නෙලන ලද පියගැට පෙළ 150ක් පමණ ද ඇත.
පුරාණ රෝහල

බෙහෙත් ඔරුව
උණුවතුර ස්නානය කළ ස්ථානය
කෞතුකාගාරය ඉදිරිපස කාමර ගණනාවකින් යුත් පැරණි රෝහලක නටබුන් දැකිය හැකි ය. බෙහෙත් ඔරුවක්, උණුවතුර ස්නානය කිරීම සඳහා පිළියෙළ කළ ස්ථානයක් අදද මෙහි දක්නට ලැබේ. මෙහි සිදුකළ කැනීම් වලදී ශල්‍ය උපකරණ, පර්සියානු තඹ භාජන ආදිය හමුවී ඇත. 10 වන සියවසේ දෙවන සේන රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවට සැලකෙන මෙය ලෝකයේ පැරණිතම සංවිධිත රෝහල් සංකීර්ණය බව පුරාවිද්‍යඥයන්ගේ අදහසයි.
කණ්ටක චේතිය
වාහල්කඩ
මිහින්තලා කන්ද මඳ දුරක් නගින විට කුඩා කඳු ගැටයක් මත බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන කණ්ටක චේතිය හමු වේ. පාදමේ වට ප්‍රමාණය අඩි 425ක් පමණ හා දැනට ශේෂව ඇති උස අඩි 40ක් පමණ වන, ගඩොළු හා හුණුගල් වලින් නිමවා ඇති මේ චෛත්‍යය කුමන රජකෙනෙකුන් විසින් ඉදිකරන ලද්දේදැයි අවිනිශ්චිත වන අතර එය කිස්තු පුර්ව පළමු වන සියවසට පෙර සූරතිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බව අනුමාණ කෙරේ. ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැන වූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මේ ස්ථූපය විශේෂ කොට සලකා ඇති අතර ඒ සඳහා ගිරිහන්ඩ පුජාව නමින් විශේෂ පූජා පැවැත් වූ බව සඳහන් වේ. මේ දාගැබේ සිව් දිසාවට වූ වාහල්කඩ හතරෙන් දෙකක් හොඳින් ආරක්ෂා වී ඇත. මිහින්තලේ අනෙක් කුඩා ස්තුපවල වාහල්කඩක් ඉදිකොට තිබු බවක් නොපෙනේ.
වාහල්කඩේ කැටයම්
ගල් කණු
සිංහ මුර්තිය
මේ වාහල්කඩ වාමන, හංස, ඇත් ආදී ඉතා කලාත්මක කැටයම් වලින් අලංකාරවී තිබේ. වාහල්කඩේ ගල් කණුවල ද ලියකම්, සත්ව රූප, මිනිස් රූප ආදිය කැටයම් කොට ඇත.මේ කැටයම් හුනුගල්වල නෙලා ඇති බැවින් මේ වන විට කැටයම් ගෙවී ගොස් ඇති බව පෙනේ. සිව් දිසාවේ ගල් කණු මත ඇත්, සිංහ, අශ්ව හා ගොන් මුර්ති පිහිටුවා ඇත. ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණ හදාරන්නන්ට මේ වාහල්කඩ ඉතා හොඳ නිදර්ශනයකි.
අට සැට ලෙන්
මිහින්තලේ ඇති පැරණිතම ස්මාරක වන්නේ කණ්ටක චේතිය වටා කඳු බැවුමේ ඇති අට සැට ලෙන්ය. භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස දේවානම් පිය තිස්ස රජුගේ නියමයෙන් රජ පවුලේ සාමාජිකයන්ගේ ද අනුග්‍රහයෙන් මේවා කටාර කොටා නිම කොට ඇත.
බ්‍රාහ්මීය අකුරින් ලියා ඇති වගන්ති
මේ ලෙන් වල බ්‍රාහ්මීය අකුරින් ලියා ඇති වගන්ති වලින් රජ පවුලේ අයගේ, ප්‍රාන්ත ප්‍රභූන්ගේ තොරතුරු හා සිංහල අක්ෂර මාලාවේ සහ භාෂාවේ ආරම්භක අවස්ථාව ගැන තොරතුරු අනාවරණය වේ
සිංහ පොකුණ
සිංහ පොකුණේ කැටයම්
ආරාම නටබුන්
කණ්ටක චේතිය දකුණු පස වන තැනිතලා භුමියේ ආරාම නටබුන් අතර සත්ව රූප, මිනිස් රූප ආදී මනරම් කැටයමින් යුත් සිංහ පොකුණ නමින් හැඳින්වෙන සිංහ මුඛයකින් ජලය ගලා එන ලෙස පිළියෙළ කල වාස්තු විද්‍යාත්මක ස්මාරකයක් දක්නට ඇත. සිංහ රුපයක් ලෙස නිර්මාණය කර ඇති මේ නිර්මාණය විශිෂ්ට කලා නිර්මාණයකි.
දාන ශාලාව
බත් ඔරුව
කැඳ ඔරුව
ජලය සැපයූ නල
මිහින්තලාවේ මැද මළුවේ මිහින්තලා වාසි භික්ෂුන් වහන්සේලා දන් වැලඳු දාන ශාලාව හමුවේ. මෙය දිගින් අඩි 114ක් හා පළලින් අඩි 77ක් පමණ වන මැද මිදුලකින් යුත් පොලවට ගල් පුවරු ඇතිරූ ගොඩනැඟිල්ලකි. වහල දරා සිටි ගල්කණු වල හා ජලය සැපයූ නල මාර්ගයේ අවශේෂ, කුඩා කැඳ ඔරුවක්, ලොකු බත් ඔරුවක්, ආදිය මෙහි දක්නට ලැබේ.
සන්නිපාත ශාලාව
මැද ආසනයක් සහිත එක පැත්තක් අඩි 63ක් පමණ දිග සම චතුරශ්‍රාකාර සිව් දෙසට ම දොරටු ඇති, භික්ෂුන් වහන්සේලා රැස්ව සාකච්චා කරන්නට ඇතැයි සැලකෙන සන්නිපාත ශාලාව දාන ශාලාව ආසන්නයේ ඇත.
ධාතු මන්දිරය
මිහින්තලේ ධාතු මන්දිරය ලෙස සැලකෙන චතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලක නටබුන්ද මැද මළුවේ දක්නට ඇත. සතර කෙනා කුඩා ස්තුප හතරක් ද ඇත.
මිහිඳු රජුගේ පුවරු ලිපිය
මිහින්තලේ ධාතු මන්දිරයට ඇතුළුවන දොරටුව දෙපස හතරවන මිහිඳු රජු විසින් කොටස් දෙකකින් යුක්තව පිහිටුවන ලද පුවරු ලිපිය ඇත. මෙහි විහාර පාලනයට අදාළ තොරතුරු, බික්ෂුන් වහන්සේලා පිළිපැදිය යුතු සිරිත්විරිත්, උන් වහන්සේලාට රජයෙන් දැක්විය යුතු ගරු බුහුමන්, ආරාමයේ සේවය කරන්නන්ට ගෙවිය යුතු වැටුප් ප්‍රමාන ආදී තොරතුරු ඇතුළු වේ.
මිහින්තලේ ගිරි ලිපිය
මහා දාඨික මහානාග රජ සමයේ (ක්‍රි.ව. 9-21) අපර බ්‍රාහ්මි අක්ෂරයෙන් පැරණි සිංහලයෙන් ලියා ඇති මෙහි මිහින්තලා විහාරයේ වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පුජා කරණ ලද වැව් ආදිය ගැන හා මිහිඳු හිමියන් උත්තිය හිමියන් ආදීන්ගේ ප්‍රතිමා නඩත්තුව සඳහා කරන ලද ප්‍රධාන ගැන සඳහන් වේ.
ගිරිභන්ඩ සෑය


ධාතු ගර්භ සිතුවම්

දාන ශාලාවට මඳක් ඊසාන දෙසට වන්නට ගිරිභන්ඩ සෑය නමින් හඳුන්වන චෛත්‍යයක නටබුන් ඇත. වට ප්‍රමාණය අඩි 88ක් පමණ වේ. කවුරුන් විසින් ඉදි කරන ලද්දේදැයි අවිශ්චිතය. 8 වන සියවසේ පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ. මේ දාගැබ කැනීමේ දී ධාතු ගර්භ තුනක් හමු වී ඇත. මේවායේ තිබී රන් මලක්, මහා මේරු ගලක්, හක් ගෙඩියක් සතර මහාද්වීප දැක්වෙන සංකේත ආදිය තිබී ඇත. මෙහි දිව්‍ය ලෝකයේ දෙවියන් වලාකුල් අතර ගැවසෙන අයුරු නිරුපනය කරන විසිතුරු සිතුවම් වලින් සපිරි ධාතු ගර්භය කොටස මිහින්තලේ පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
වටදාගේ
අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ලෙස හැඳින්වෙන වටදාගෙය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානයේ හා බුදුරජානන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කල අවස්ථාවේ පන්සියයක් මහා රහතන් වහන්සේලා සමග ටික වෙලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ ඉදිකර ඇති බවට බවට විශ්වාස කෙරේ. මහාදාඨික මහානාග රජු විසින් පළමුවන සියවසේ මෙය කරවන ලදැයි සැලකේ. දෙවන සියවසේ දී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හි දී තවත් රජවරුන් එය ප්‍රති සංස්කරණය කළ බවත් සඳහන්වේ. මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා තිබේ.

නිම නොකළ කර්මාන්තයක්
ආරාධනා ගල
මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුට ‘තිස්ස’ කියා ඇමතුවේ මෙහි සිට යයි කියති. මේ මුදුනට නැගී විට අවට ප්‍රදේශය මනාව දර්ශනය වේ.
මිහිඳු ගුහාව
වටදා ගෙයින් නැඟෙනහිර බැවුම ඔස්සේ ටික දුරක් ගියවිට මිහිඳු හිමියන් විවේකිව සිටි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හමුවේ. මේ ලෙන මිහින්තලේ සියලු ලෙන් අතර වඩාත්ම පුජනිය ලෙන ලෙස පිළිගැනේ.
මහා සෑය
මිහින්තලා පුදබිම් සංකීර්ණයේ ඇති විශාලතම දාගැබ මහාථූපය, මහාචේතිය නම් වලින් ද හඳුන්වනු ලබන විෂ්කම්භය අඩි 136ක් පමණ හා උස අඩි 153ක් පමණ වන මහදාඨික මහානාග රජතුමා විසින් කරවා ඇති මේ මහා සෑයයි. පුජාවලියේ හා හතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ අම්බුළු දාගැබ ලෙස හඳුන්වා ඇති මේ දා ගැබේ බුදුරජානන් වහන්සේගේ ඌර්න රෝම ධාතුව නිධන් කොට ඇති බව කියවේ.
මිහිඳු සෑය
මිහිඳු සෑය
මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජු විසින් ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේ ඉදිකරන ලද්දකි මිහිඳු සෑය.
නාග පොකුණ
ඇත් වෙහෙර
මිහින්තලාවේ උසම ස්ථානය ඇත් වෙහෙර කන්දයි. නාග පොකුණේ සිට පියගැට 600ක් පමණ ඉහලට නැඟිවිට ඇත් වෙහෙර හමුවේ. දා ගැබේ විෂ්කම්භය මීටර් 27ක් පමණ වේ.
ඉඳිකටු සෑය
මිහින්තලයේ වැඩ විසු භික්ෂුන් වහන්සේලාගේ චීවර මසා ගැනීමට භාවිත කළ ඉඳිකටු තැන්පත්කොට මේ ස්තුපය ඉදිකළ බව ජනප්‍රවාදයේ එයි. ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වල ඉදිකරන්නට ඇති බවට සැලකෙන මේ ස්තුපය අඩි 20ක් පමණ විශ්කම්භයෙන් යුක්ත ය. මේ ආසන්නයේ මහායාන නිර්මාණ ලක්ෂණ ඇති පංචාවාස ගොඩනැඟිල්ලක, ප්‍රතිමා ගෘහයක හා ජන්තාඝරයක නටබුන් හා පොකුණක් දක්නට ඇත.
කටු සෑය
ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මිහින්තලා ආරාමය ඉදිකිරීමට භාවිත කළ ආයුධ තැන්පත් කොට මේ කටු සෑය ඉදිකළ බවයි. මේ ස්ථානයෙන් මහා යාන සුත්‍ර පාඨ ඇතුලත් තඹ තහඩු හමු වී ඇති බැවින් මෙයද 8-9 සියවස්වල ඉදි කරන ලද මහායාන සම්ප්‍රදායේ විහාර සංකීර්ණයක් බවට විශ්වාස කෙරේ.
කළු දිය පොකුණ
පොකුණේ ඇති ජලය කළුවන් පැහැයට පෙනෙන බැවින් කළුදිය පොකුණ නම් ලද පොකුණ ආසන්නයේ පිහිටි ගල් ලෙන්, ස්නානාගාර, දාගැබ්, පිරිවෙන් භාවනා ශාලා ආදියේ නටබුන් හා සෙල් ලිපිවල සටහන් අනුව මේ ස්ථානයේ ද ආරාම සංකීර්ණයක් තිබී ඇති බව පැහැදිලි වේ. ක්‍රිස්තු වර්ෂ 898-914 කාලයේ රජ කළ හතරවන කාශ්‍යප රජතුමා විසින් ධම්මරුචි සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකොට ඇති ‘හදසුන්හ විහාරය’ බව විශ්වාස කෙරේ. පරිසරයට හානියක් නොවන පරිදි ගොඩනැඟිලි ඉදිකිරීමේ සම්ප්‍රදායික තාක්ෂණය නිරුපනය වන හොඳම ස්ථානය ලෙස කළුදිය පොකුණ හඳුන්වයි.
රාජ ගිරි ලෙන කන්ද
මේ කුඩා කඳු ගැටයේ ද ගල් ලෙන් කීපයක් හා පොකුණක් ඇත. මේ ලෙන් වාසස්ථානය කොට ගෙන සිටින්නට ඇත්තේ තවුස් දිවියක් ගතකල භික්ෂුන් වහන්සේලායි. මේ ලෙන් වලද බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති ලිපි හමු වී ඇත. ඊට අමතරව 9 වන සියවසට අයත් නගරි අක්ෂර වලින් ලියු ටැම් ලිපියක්ද හමු වී ඇත.
සිංහලයාගේ බෞද්ධ සංස්කෘතියේ නිජබිම වූ මිහින්තලේ තවම සම්පුර්ණයෙන් නිරීක්ෂණය කොට අවසන් කර නැත. 3 වන සියවසේ අග භාගය පමණ වනතුරු මේ විහාරය මහා විහාරයට අයත්ව තිබුන ද, මහසෙන් රජු විසින් එය අභයගිරි විහාරයට පවරා දී ඇති බව පෙනේ. ෆාහියන් හිමියන් 5 වන සියවසේ දී මිහින්තලේ 2000ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බව සඳහන්කර ඇත. වැඩිම ස්තුප ගණනක් තිබුණු ආරාමය වී ඇත්තේ මිහින්තලේ ය. 12 වන සියවසේ දී මහා පරාක්‍රමබාහු රජතුමා ස්තුප 64ක් ප්‍රතිසංස්කරණය කළ බව කියති.
මේ භුමියේ සැඟ වී ඇති සිංහලයාගේ සංස්කෘතික සලකුණු කවදා හෝ හෙළි කරගනු ඇතැයි අපි විශ්වාස කරමු.
මාලිඟාවිල හා දඹේගොඩ ස්මාරක
ඓතිහාසික මාලිඟාවිල හිටි බුදු පිළිමය හා දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අනුරාධපුර යුගයේ බෞද්ධ ප්‍රබෝදය රජරටට පමණක් සිමා නොවි, රට පුරාම පැතිර ගොස් තිබුණු බව අපට පසක් කරවයි. මොණරාගල දිස්ත්‍රීක්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මාලිඟාවිල සහ දඹේගොඩ පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයට බුත්තල සිට ඔක්කම්පිටිය හරහා කිලෝමීටර් 18ක පමණ දුරක්ද A 4 මාර්ගයේ කුඹුක්කන සිට ඔක්කම්පිටිය හරහා කිලෝමීටර් 15ක පමණ දුරක්ද ගෙවා ලඟාවිය හැකිි ය.
මාලිඟාවිල සහ දඹේගොඩ ප්‍රදේශ ආශ්‍රිතව අක්කර 300ක පමණ භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 6 වන හා 8 වන සියවස්වල පමණ වූ ආරාම සංකීර්ණයක් බව විශ්වාස කෙරේ. මෙහි පිහිටා ඇති ඉතාමත්ම වැදගත් ස්මාරක වන්නේ හිටි බුදු පිළිම වහන්සේ හා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවයි. මේ ප්‍රතිමා වල විශේෂත්වයක් වන්නේ සම්බන්ධ වී ඇති පර්වතයක් හෝ වෙනත් කිසිදු ආධාරකයක් නොමැතිව සෘජුව නෙලා ඇති විශාලතම ප්‍රතිමා දෙකක් වීමයි.
මාලිඟාවිල බුදු පිළිම වහන්සේ


මාලිගාවිල බුදු පිළිම වහන්සේ ලංකාවේ පැරණිම බුද්ධ ප්‍රතිමා අතර විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස පිළිගැනේ. අඩි 4ක් පමණ වන පද්ම පීඨය සමග මෙමෙ ප්‍රතිමාවේ උස අඩි 42ක් පමණ වේ. මෙය නෙලා ඇත්තේ ස්ඵටික හුනුගලකිනි. මෙය අවුකන බුද්ධ ප්‍රතිමාව මෙන් අභය මුද්‍රාවෙන් නෙලා ඇත. වංශ කතාවල සඳහන් වන රුහුණේ විසු අග්ගබෝධි කුමරු කාණගාමයෙහි ප්‍රතිමා නම් විහාරයට නිර්මාණය කළ විශාල පිළිමය හා පිළිමගෙය මෙය බව විශ්වාස කෙරේ. මේ විහාරය අරියාකර විහාරය යනුවෙන්ද ද හැඳින් වූ බව පෙනේ.
මාලිඟාවිල සහ දඹේගොඩ ප්‍රදේශය පුරාවිද්‍යා ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස 1936 දී ප්‍රකාශයට පත්කොට ඇත. 1951 දී පමණ කැනීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භකොට ඇත. කෑලිවලට බිඳී ගොස් හා නිධන් සොරුන්ගෙන් හානියට පත්ව තිබු පිළිමය ප්‍රතිසංස්කරණය කොට ඔසවා තැබීමට 1974 දී පමණ උත්සාහ ගත්ත ද එය ව්‍යාර්ථ විය. පසුව 1980 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීමෙන් හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රමුඛ දේශීය ඉංජිනේරුවන්ගේ උත්සාහයෙන් මේ පිළිමය විශිෂ්ට ලෙස ප්‍රතිසංස්කරණය කෙරින.
ප්‍රතිමා ගෘහයට පිවිසෙන පිය ගැට පෙළ හා කොරවක් ගල්


අඩි සියයකට ආසන්න දිග පළලින් හා අඩි හැටක් පමණ උසකින් යුතු ගෙඩිගේ සම්ප්‍රදායේ විශාල පිළිම ගෙයක් තුළ මේ පිළිමය පිහිටුවා තිබී ඇත. ගඩොලින් නිම වූ ඉතා පළලින් යුතු බිත්තිවල ශේෂයන් දක්නට ඇත. ආරුක්කු හැඩයේ වහලක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලංකාවේ දක්නට ලැබෙන ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙවල් වල නටබුන් අතරින් පැරණිතම පිළිම ගෙය මෙය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත.




දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව
බුදු පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 600ක් පමණ ගිනිකොණ දෙසට වන්නට දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව පිහිටුවා ඇත. අග්ගබෝධි කුමරුගේ අභාවයෙන් පසු රුහුණට අධිපති වූ දප්පුල කුමරා විසින් පසළොස් රියන් බෝසත් පිළිමයක් කරවූ බව වංශ කතාවල දැක්වේ. ඒ මෙම බෝසත් පිළිමය බවට සැකයක් නොමැත.


මහායාන බුදු සමයෙන් ඇරඹී ඇති අවලෝකිතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමා වන්දනය මගින් බැතිමතුන්‍ගේ ආරක්ෂාව, රෝග සුව කිරීම ආදිය බලාපොරොත්තු වී ඇත. රුහුණේ අග්බෝ කුමරු කාණගාමයේ අන්ධයින්ට හා ගිලනුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආරෝග්‍යශාලා කරවූ බව මහාවංසයේ සඳහන් වන අතර මෙය එම පරිශ්‍රය ලෙස සැලකේ.


ක්‍රිස්ටලයින් පාෂාණයෙන් නිර්මාණය කොට ඇති මෙම අවලෝකිතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමාවෙහි උස අඩි 30ක් පමණ වේ. ශක්තිමත් බව, ප්‍රෞඩත්වය, රාජකීයත්වය පිළිබිඹු කෙරෙන සමභංග ඉරියව්වෙන් නෙලා ඇති මෙම ප්‍රතිමාවේ දෙ අත් වලින් විතර්ක හා කටක හස්ත මුද්‍රාව නිරූපණය කොට ඇති අතර වම් අතෙහි පද්මයක් දරා සිටියි. රාජ හිස් පළඳනාවක් හා සමාන ජටා මකුටයේ මධ්‍යයෙහි ධ්‍යාන මුද්‍රාවෙන් අමිතාභ බුද්ධ රූපයක් කැටයම් කොට ඇත. පිළිමයේ ගෙල ප්‍රදේශය මුතුවැල් මාලයකින් හා රාජකීය ආභරණමෙන් කැට යමින් අලංකාර කරන ලද ආභරණවලින් සරසා ඇත. මුතු වැල් මාලයට යටින් තවත් දිගැටි රන්දම්වැල් මාලයක් කැටයම් කොට ඇත. උදරය බඳ පටියක් වැනි ආභරණයකින් සරසා ඇත. කන්වල මකර කුණ්‌ඩලාභරණ හා දෙ අතේ වළලු පැළඳි ආකාරයෙන් කැටයම් ඇත. වම් උරයෙන් පහළට වැටී ඇති පූණ නූලකි. යටි කය දෝතියක් ඇඳ සිටින ආකාරයෙන් නිමවා ඇත.
බෝධිසත්ව ප්‍රතිමාව පිහිටි මණ්ඩපයට පිවිසෙන පියගැට පෙළ


මාලක කිහිපයකින් සැදී කුඩා කඳු ගැටයක් මත ඉදිකල මණ්ඩපයක පිහිටුවා තිබු බවට සැලකෙන මේ ප්‍රතිමාව කෑලි ගණනාවකට කැඩී තිබිණ. 1990 දී මෙහි ප්‍රතිසංස්කරණය ඇරඹින. දේශීය තාක්ෂණය අනුව ලී දඬු ආදිය පමණක් උපයෝගී කර ගනිමින් පිළිමය එසවීමට පියවර ගන්න ලදී. මෙයද දේශීය ඉංජිනේරුවන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කැපවීම නිසා විශිෂ්ට ලෙස ප්‍රතිසංස්කරණය කොට ඇත. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට සිය වසක් පිරිම නිමිත්තෙන් නැවත පිහිටවූ මෙම පිළිමය 1991 සැප්තැම්බර් මස පලමුවනදා මහජනයාට විවෘත වින.










ටැම් ලිපිය


මේ බෝධිසත්ව ප්‍රතිමාව පිහිටි මණ්ඩපයට පිවිසෙන පියගැට පෙළ අසල හතරවන මහින්ද රජතුමා විසින් කරවන ලද ටැම් ලිපියක් ඇත. මෙහි එතුමා විසින් කරවන ලද බෞද්ධාගම නගා සිටුවීමට කරන ලද ක්‍රියා කීපයක් හා භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් පනවා ඇති නීති කීපයක් සඳහන් කොට ඇත.
මේ ස්ථාන බලා පැරණි සිංහලයන්ගේ භක්තිය, නිර්මානාත්මක හා කලා කෞශල්‍යය පිළිබඳව අභිමානයක් ඇතිකර ගන්නා සේම අනාගත පරපුරට ද මේවා ඉතිරිකර තැබීම අපගේ යුතුකමයි.
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග‍්‍රහය 2018’ සඳහා ශාස්ත‍්‍රීය ලිපි ලබාගැනීම
2018 පෙබරවාරි 14
ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය සමාජීයවිද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය විෂයානුබද්ධ ව ජාතික මට්ටමේ කාර්යයන් කීපයක් ම සාර්ථකව දියත් කරමින් ශීඝ‍්‍ර සංවර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ අධ්‍යයන අංශයකි. අප දෙපාර්තමේන්තුවේ නිල ශාස්ත‍්‍රීය සංග‍්‍රහය වන The Journal of Archaeology and Heritage සමර්පිත සාර සංග‍්‍රහය මේ වන විට වෙළුම් හතරක් ප‍්‍රකාශයට පමුණුවමින් පුරාවිද්‍යා විෂයයේ ප‍්‍රගමනය සඳහා මාහැඟි දායකත්වයක් සපයා ඇත. මේ වන තෙක් මෙම සාර සංග‍්‍රහය සඳහා පර්යේෂණාත්මක ලේඛන සපයමින් අනුග‍්‍රහය දැක් වූ ඔබ සැමට කෘතඥතාව දැක්වීමට මෙය අවස්ථාවක් කරගැනීමට කැමැත්තෙමි.
මෙම සංග‍්‍රහයේ පස් වැනි වෙළුම 2018 වසරේ දී නිකුතු තුනක් වශයෙන් පළ කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතී. පුරාවිද්‍යාව මෙන් ම ඒ හා සම්බන්ධ වෙනත් විෂයයන් අළලා රචිත පර්යේෂණාත්මක ලේඛන පළ කරනු ලබන මෙම සංග‍්‍රහය උදෙසා ශාස්ත‍්‍රීය ලිපි කැදවීම මේ වන විට ආරම්භ කොට ඇත.
මෙම සාර සංග‍්‍රහය සඳහා පර්යේෂණාත්මක අන්තර්ගතයක් සහිත ශාස්ත‍්‍රීය ලිපියක් ලබා දෙමින් ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් සිදුකරගෙන යනු ලබන ශාස්ත‍්‍රීය කාර්යය සාර්ථක කරගැනීම සඳහා අනුග‍්‍රහය දක්වන මෙන් ඔබ වහන්සේගෙන් / ඔබ තුමාගෙන් / ඔබ තුමියගෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මෙයට විශ්වාසී,
චන්දිම බණ්ඩාර අඹන්වල, MSc., MSLCA
ලිපි ඉදිරිපත් කිරීමේ සම්මතයන්
විෂය ක්‍ෂේත‍්‍රය : පුරාවිද්‍යාව, ඉතිහාසය, උරුම කළමනාකරණය, ස්මාරක හා පුරාකෘති සංරක්‍ෂණය, පුරාණ වාස්තුවිද්‍යාව, පැරණි වාරික‍්‍රම, පැරණි තාක්‍ෂණය, අභිලේඛන හා පුරාඅක්‍ෂර විද්‍යාව, සංස්කෘතික මානවවිද්‍යාව, මානවවංශ පුරාවිද්‍යාව, ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව ඇතුළු පුරාවිද්‍යාව හා ආශ‍්‍රිත වෙනත් විෂයයන්
භාෂාව : සිංහල / English
අකුරු මාදිළිය : සිංහල – FMAbhaya ඉංග‍්‍රීසි – Times New Roman
අකුරු ප‍්‍රමාණය : ප‍්‍රධාන මාතෘකා – 16/ Bold අනු මාතෘකා – 14 රැු ඊදකාල අන්තර්ගතය – 12
ප‍්‍රමාණය : වචන 3,000-3,500 (අන්තර්ගතය අනුව වෙනස් විය හැකිය)
උද්ධරණ : හාවර්ඞ් උද්ධරණ (Haward Referencing)
අධ්‍යයන සංක්‍ෂිප්තය හා මුඛ්‍ය පද : වචන 300-350 අතර ප‍්‍රමාණයේ පර්යේෂණ සංක්‍ෂිප්තයක් හා මුඛ්‍ය පද 6ක් ලේඛනය ආරම්භයේ දැක්විය යුතු ය.
කතුවරුන් පිළිබඳ විස්තර : කතුවරුන් පිළිබඳ ප‍්‍රකාශනයේ දැක්විය යුතු විස්තර (අධ්‍යාපන සුදුසුකම්, තනතුර ආයතනය හා තැපැල් ලිපිනය) කතුවරයාගේ / කතුවරයන්ගේ නම් සමඟ දැක්විය යුතු යි.
දුරකතන අංකය හා විද්‍යුත් ලිපිනය : සංස්කරණ කටයුතු සඳහා සම්බන්ධිකරණය සිදුකළ යුතු ලේඛකයා හා සම්බන්ධ කරගත යුතු ආකාරය දැක්විය යුතු ය.
වැදගත් දින
ලිපි ලබාදිය හැකි අවසන් දිනය : 2018 මැයි 15
ලිපි තෝරාගත් / නොගත් බව දැනුම් දීම : 2018 අගෝස්තු 15
සංස්කරණිත පිටපත ලේඛකයන් වෙත ලබාදීම : 2018 ඔක්තොම්බර් 15
සඟරාව මුද්‍රණය හා දොරට වැඩුම : 2018 දෙසැම්බර්
ලිපි ලබාදීම
දක්වා ඇති උපදෙස් අනුව සකසන ලද පර්යේෂණාත්මක ලේඛනයේ මෘදු පිටපත 2018.05.15 වැනි දින හෝ ඊට පෙර පහත දැක්වෙන විද්‍යුත් ලිපිනයට හෝ තැපැල් ලිපිනයට ලැබීමට සලසන්න. පර්යේෂණ ලිපිය හා සම්බන්ධ ඵලක හා ඡායාරූප jpeg ආකෘතියට වෙනම ඇමුණුමක් වශයෙන් ලබාදිය යුතු වේ.
විද්‍යුත් ලිපිනය : editorjahs@gmail.com
තැපැල් ලිපිනය :
සංස්කාරක, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය,
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය,
සමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨය,
ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.
විශේෂ අවධානය සඳහා : දක්වා ඇති සම්මතයන් අනුව ලිපි ඉදිරිපත් කිරීම තදින්ම අපේක්‍ෂා කරනු ලැබේ. මෙම සම්මතයන් සපුරා නොතිබීම, අදාළ පර්යේෂණාත්මක ලිපි පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ පළ කිරීම සඳහා සලකා බැලීමට හෝ නුසුදුසු සේ සලකනු ලැබීමට හේතුවන බව කාරුණිකව සලකන්න.
1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත : අන්තර්ගතය හා එහි වැදගත්කම පිළිබඳ විමසුමක්
පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.
හැඳින්වීම


ඕනෑම සමාජ ව්‍යුහයක පැවැත්ම හා ආරක්‍ෂාව පිණිස තත්කාලීන සමාජ සන්දර්භයට ගැලපෙන නෛතික පසුබිමක් ගොඩනැඟීම හා පවත්වාගෙන යාම මානව සමාජ ගතිකයකි. එය බොහෝ විට යාවත්කාලීන වන සමාජ පැවැත්මට අනුචිත ව නිර්මාණය වන නීතිරීති, අණපනත්, ගිවිසුම් හෝ ප‍්‍රඥප්තිවලින් යුක්ත වේ. ශ‍්‍රී ලංකාවේ අපරාධමය වැරදි සම්බන්ධයෙන් ලබා දෙන දඩුවම් පිළිබඳ ව දණ්ඩ නීති සංග‍්‍රහයේ දීර්ඝ ව විස්තර වේ. ඊට අමතර ව විවිධ සමාජ අවශ්‍යතාවන් මත ගොඩනැඟුණු පනත් කිහිපයකි. පොදු දේපළ විෂයෙහි සිදු කරන වැරදි පාලනය කිරීම සඳහා පොදු දේපළ පනත කි‍්‍රයාත්මක වන අතර ආගමන හා විගමන වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ආගමන හා විගමන පනත කි‍්‍රයාත්මක වේ. වනාන්තර ආශ‍්‍රිත ව සිදුවන අපරාධ පාලනය කිරීම සඳහා වනජීවි වෘක්‍ෂලතා පනත කි‍්‍රයාත්මක වන අතර ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු විනාශ කිරීම පාලනය කිරීම සඳහා පුරාවිද්‍යා ප‍්‍රඥප්ති කි‍්‍රයාත්මක වේ. පුරාවස්තු පිළිබඳව සිදු කරන වැරදි සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා 1940 වර්ෂයේ දී විශේෂ පනතක් හඳුන්වා දෙන ලදි. එය 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත ලෙස හඳුන්වනු ලැබේ.
1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත ප‍්‍රථම වතාවට 1955 වර්ෂයේ දී සංශෝධනය වේ. එම සංශෝධනයෙන් වර්ෂ 43කට පසු දෙවන සංශෝධනය 1998 අංක 24 දරණ පනත ලෙස ඉදිරිපත් කරන ලදි. මෙම සංශෝධන දෙවන පනත මගින් නව වගන්ති එකතුවීම මෙන්ම මුල් ආඥා පනතේ දැක්වෙන වගන්තිවල යම් යම් වචන ඉවත් කිරීම හා එක් කිරීම විශේෂ කරුණකි. එය හුදෙක්ම 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත විශාල පරිවර්තනයක ට යොමු කිරීමකි. එමෙන්ම, පුරාවිද්‍යා ශික්‍ෂණයේ නෛතික රාමුව ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ කාලෝචිත කි‍්‍රයාවක් ලෙස පෙන්වා දිය හැකි ය. ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථාන හා ගොඩනැඟිලි වඩා හොඳින් සංරක්‍ෂණය කිරීම සඳහා පියවර ගැනීමයි. මෙහි දී පුරාවස්තුවලට පමණක් නොව පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්මාරක මෙන් ම එම ස්මාරක පවතින සන්දර්භය සංරක්‍ෂණය කිරීම සඳහා පියවර ගැනීම වැදගත් කි‍්‍රයාවකි.
අන්තර්ගතය (නව සංශෝධන)
- 1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනතේ පළමුවෙන්ම මීට පෙර පැවති ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ දීර්ඝ නාමය සංශෝධනයට ලක් වේ. මෙහිදී “ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු සහ ශ‍්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත් කමක් ඇති ස්ථාන සහ ගොඩනැඟිලි වඩා හොඳින් සංරක්‍ෂණය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වු ආඥා පනත” යනුවෙන් සංශෝධන දීර්ඝ නාමය ආදේශ වේ (1998 අංක 24, 2 වන වගන්තිය)
- ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ 2 වන වගන්තියේ 3 වන උප වගන්තියෙහි “හෝ විලක” යන වචනය වෙනුවට “හෝ විලක හෝ ශ‍්‍රී ලංකාවේ දේශීය සමුද්‍රය ඇතුළත හෝ” යන වචන ආදේශ කිරීමක් 1998 අංක 24 දරණ පුරාවස්තු ආඥා පනතේ 3 වන වගන්ය මගින් සිදු වේ. එය ප‍්‍රධාන වගන්තිය හෙවත් 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනතේ 2 වන වගන්තියේ සංශෝධනයට ලක් කිරීමකි
- ඒ අනුව, සාගරයට යට වු ඓතිහාසික ශිෂ්ටාචාරවල පුරාවිද්‍යාත්මක වැදගත්කම හා සංරක්‍ෂණය පිළිබඳව වගන්ති සංෙශා්ධන නව පනතට ඇතුළත් වේ. විශේෂයෙන්ම, 1940 අංක 9 දරණ පනතේ භූ තලය මතු පිට හෝ ඉන් ඇතුළත හෝ යම් ගංගාවක හෝ විලක සැඟ වී තිබෙන සොයා ගෙන නොමැති සියලු පුරාවස්තු රජයේ දේපලක් ලෙස ප‍්‍රකාශයට පත් වු අතර එය 1998 අංක 24 දරණ පනතින් සංශෝධනය වේ. මුල් ආඥා පනතේ “හෝ විලක” යන වචනයට “ශ‍්‍රී ලංකාවේ දේශීය සමුද්‍රය ඇතුළත” යන යෙදීම ඇතුළත් වේ. මෙම වගන්තිය සංශෝධනය වීම ශ‍්‍රි ලංකාවේ සමුද්‍රාගත පුරාවිද්‍යා කටයුතුවල වර්ධනීය අවස්ථාවකි
- 1940 අංක 9 දරණ පනතෙහි පුරාවස්තු ආරක්‍ෂා කිරීම සම්බන්ධ වගන්ති ඇතුළත්ව තිබුන ද පුරාවස්තු සම්බන්ධව සිදුවන අපරාධ පාලනය කිරීම සඳහා ඒවා ප‍්‍රමාණවත් නොවිය. එකි බාධාව පුරාණය කිරීම සංශෝධන 1998 පනත මගින් සිදු වේ. විශේෂයෙන්ම 1940 අංක 9 දරණ පනත මගින් පුරාවස්තු සොරකම් කිරීම සම්බන්ධ දඩුවම රුපියල් දහසකට නොවැඩි දඩයක් හෝ එක් වර්ෂයකට නොවැඩි සිර දඩුවමකට සීමා වුව ද සංශෝධන නව පනත මගින් අදාළ වැරදි සඳහා රුපියල් පනස් දහසක දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ ඉහත දඩුවම් දෙකම යටත් වන සේ නීති සම්පාදනය කර ඇත (1998 අංක 24, වගන්ති 4).
- ඊට අමතරව පුරාවස්තු ඕනෑකමින් විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන හෝ එහි යම් කොටසක් ඕනැකමින් පළුදු කරන යම් තැනැත්තෙකු වෙත් නම් ඔහු සංශෝධන පනත යටතේ වරදකරුවෙකු බවට පත් වේ. මෙහි දි මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියෙහි වැරදිකරුවකු කරනු ලැබු විට රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් හෝ එම දඩය සහ බනධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට යටත් වීමට සිදුවන බව දක්වයි. මෙහි දි සංශෝධන නව ආඥාපනත යටතේ වරදකට චෝදනා ලැබු පුද්ගලයකුට හෝ චුදිතයෙකුට කිසිදු හේතුවක් නිසාවත් ඇප මත මුදා නොහැරිය යුතු බව අවධාරණය කිරීම පුරාවස්තු විනාශ පාලනය කිරීම සඳහා ගත් සුභවාදී කි‍්‍රයාවකි (1998 අංක 24, 4 – 15 ඇ).
- 1940 අංක 29 දරණ පුරාවස්තු ආඥා පනතේ 16 වන වගන්තිය ද නව පනත මගින් සංශෝධනයට ලක් වේ. එහි පැරණි ස්මාරක කාලනිර්ණය 1850 ජනවාරි මස 1 වන දිනට පෙර කාලච්ෙඡ්දයට අයත් වන බව දක්වා තිබු අතර නව සංශෝධන වගන්තිය මගින් අවුරුදු සියයකට නොඅඩු කාලපරිචිෙඡ්දයක් පැවති තිබෙන හෝ පැවති තිබු බව විශ්වාස කරන පුරාවස්තු සියල්ල “පැරණි ස්මාරක” ලෙස අර්ථ දක්වයි (1998 අංක 24, 5 වගන්ති – 2).
ඊට අමතරව පැරණි ස්මාරකයක් විනාශ කිරීම පිළිබඳ ව 1940 අංක 09 දරණ ආඥා පනතේ ලබා දෙන දඩුවම් මහෙස්ත‍්‍රාත්වරයකු ඉදිරිපිට පැවැත්වෙන නඩු විභාගයකින් ආදි වශයෙන් දැක්වුවද සංශෝධන පනතෙහි “වෙනත් යම් ලිඛිත තීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද වරදකරුවකුට රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම යටත් වීමට ඔහුට සිදුවන බව” දංශෝධන පනතේ 7 වන වගන්තිය යටතේ දක්වයි.
නව වගන්ති ඇතුළු කිරීම
ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ V වන කොටසට නව එක් කිරීම් කිහිපයක් සිදු වේ. පුරාවස්තු ආරක්‍ෂා කිරීම සඳහා අමාත්‍යවරයා විසින් පුරාවිද්‍යාත්මක උපදේශන කමිටුවක් පිහිටුවීම විශේෂ වේ. අමාත්‍යවරයා සලකනු ලබන කාරණා සියල්ල හෝ යම් දෙයක් කි‍්‍රයාත්මක කිරීම මෙන්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ කටයුතු සඳහා උපදෙස් ලබාදීම මෙම කමිටුව පිහිටුවිමේ අරමුණ බව දක්වා ඇත. ඊට අමතරව, කමිටුව සඳහා සාමාජික පිරිස් පත් කිරීමේ දී අමාත්‍යවරයාට පවතින පරිපාලන බලය පිළිබඳව මෙන්ම උපදේශන කමිටුවේ රැස්වීම්වල ගණපූර්ණය, සාමාජික කාල සීමාව, ඉල්ලා අස්වීමේ හැකියාව, සාමාජිකයින් ඉවත් කිරීම පිළිබඳව ආදි පරිපාලන කටයුතු පිළිබඳව වග්නිති මෙහි අන්තර්ගත ය.
1940 අංක 09 දරණ පනතේ 40 වන වගන්තිය යටතේ දක්වා තිබු “පුරාවිද්‍යා කොමසාරිස්” යන ඉවත් කරන බව නව සංශෝධන පනතේ 9 වන වගන්තිය යටතේ දැක්වේ. මෙහිදී ප‍්‍රධාන පනතේ 40 වන වගන්තිය ඉවත් වන අතර ඒ වෙනුවට “පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ බලතල හා කාර්ය” යනුවෙන් නව ශිර්ෂය ආදේශ වේ (1998 අංක 24, 9 වන වගන්තිය).
නව සංශෝධන පනතේ 10 වන වගන්තිය යටතේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ බලතල කාර්ය පිළිබඳව දිර්ඝව සඳහන් වන අතර ජාතික පුරාවිද්‍යා ප්රතිපත්තියක් සකස් කිරීම, ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය පිළිබඳ ලේඛනයක් සකස් කිරීම, එම උරුමය ආරක්‍ෂා කිරීම හා පවත්වා ගෙන යාම, ශ්‍රී ලංකාවේ සියලු යුග ආවරණය පරිදි පර්යේෂණය කිරීම, විවිධ ක‍්‍රම මගින් පුරාවස්තු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සංවර්ධන ව්‍යාපෘතිවල දී හානි අගැයුම් සිදු කිරීම ඒ අතර ප‍්‍රධාන වේ (1998 අංක 24 පනත, 10 වන වගන්තිය අ, ආ, ඇ, ඈ, ඉ, උ)
1998 අංක 24 පනතේ 11 වන වගන්තිය මගින් ප‍්‍රධාන පනතේ 43 වන වගන්තිය ද ඉවත් කරන අතර පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ බලතල කි‍්‍රයාත්මක කිරීම සඳහා දිසාපතිවරයාට හා වෙනත් නිළධාරින්ට බලය දීම සඳහා නව වගන්ති ආදේශ වේ. විශේෂයෙන්ම, යම් ආදේශයක පවතින පුරාවස්තු සංරක්‍ෂණය කිරීම, ගවේෂණය, කැනීම, නඩත්තුව පිළිබඳව කටයුතු කිරීමේ බලය ප‍්‍රාදේශීය නිළධාරින්ට පැවරීම විශේෂ ලක්‍ෂණයකි. එනම්, අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සතු බලය විමධ්‍යගත කිරීමකි. ස්වකීය නිළධාරින් සඳහා බලය ලබා දීමෙන් පසුව එහි කාර්යය සතුටුදායක ආකාරයට සිදු නොවන්නේ නම් නැවත එම බලය තමා සතු කර ගැනීමේ හැකියාව ද පුරාවිද්‍යා අධක්‍ෂ ජනරාල්වරයා සතුව පවතින බව සංශෝධන පනතේ දැක්වේ.
මෙම නව තනතුරු ඇති කිරීම එක් පැත්තකින් ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කටයුතු බිම් මට්ටමින් විධිමත්ව පවත්වා ගෙන යාමට මෙන්ම පරිපාලන ව්‍යුහය මැනවින් පවත්වා ගෙන යාමට අවස්ථාව සලසා දීමකි. යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව හානි අගැයීම පිළිබඳව නව වගන්ති එක් කිරීම සංශෝ්ධන පනතේ 12 වන වගන්තිය මගින් සිදු වේ. එය 1940අංක 9 දරණ ප‍්‍රධාන පනතේ අන්තර්ගත 43 වන වගන්ති සඳහා නව වගන්ති කිහිපයක් ආදේශ වේ. ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමේ දී ඒ අදාළ ඉඩම හෝ ඒ ඇතුළත පවතින පුරාවස්තු කිසිවකට ඒ ව්‍යාපෘතිය හරහා සිදුවිය හැකි ප‍්‍රතිඵල පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් එම ව්‍යාපෘතිය අනුමත කිරීම නොකළ යුතු බව මෙහි දි අවධාරණය කර ඇත.
ඊට අමතරව ව්‍යාපෘති භාර පුද්ගලයා හානි ඇගයුම් වර්තාව සැකසීම සඳහා අවශ්‍ය වියදම දැරිය යුතු බවද සඳහන් වේ. එසේම යම්කිසි ව්‍යාපෘතියක් කොන්දේසි සහිතව අනුමත කළ අවස්ථාවක ඊට අනුකූලව කටයුතු කිරීම අනුග‍්‍රහකයාගේ වගකීමකි. අදාළ කොන්දේසි පැහැර හැරීම මෙම ආඥා පනත යටතේ වරදක් වන අතර කි‍්‍රයාත්මක ව්‍යාපෘතිය නතර කිරීමේ හැකියාව හා බලතල පුරාවිද්‍යා කොමසාරිස්වරයා සතු වන බව සඳහන් වේ (1998 අංක 24 පුරාවස්තු පනත 12 ආ උප වගන්තිය).
1940 අංක 09 දරන ප‍්‍රධාන ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ තෑගි අරමුදල පිළිබඳව තිබු 46 වන වගන්තිය ද ප‍්‍රතියෝජනය වේ. මුල්කාලීන පුරාවිද්‍යා ආඥා පනත්වල පුරාවස්තු දෙපාර්තමේන්තුවට ලබා දෙන සාමාන්‍ය ජනතාව ඇඟයීම හා දිරිමත් කිරීම සඳහා ත්‍යාග අරමුදලක් කි‍්‍රයාත්මක වුව ද ඒ සඳහා කැපවෙන ක්‍ෂේත‍්‍ර නිළධාරින්ගේ සේවාව ඇගයීමට ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක නොවුණි. එකි අඩුව සම්පූර්ණ කිරීම මෙන්ම පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර නිළධාරින් දිරිමත් කිරීම සඳහා ගත් සාර්ථක උත්සාහයකි.
අර්ථකතන
1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ අන්තර්ගත වැදගත් කොටසක් ලෙස අර්ථ නිරූපණය දැක්විය හැකි ය. ප‍්‍රධාන ආඥා පනතේ 48 වන වගන්තිය යටතේ දක්වා තිබු “පුරාවස්තු” යන වචනය “පුරාවිද්‍යාත්මක උරුමය” යනුවෙන් සංශෝධනය වේ. මනුෂ්‍ය වර්ගයාගේ භෞතික උරුමයේ යම් කොටසක් පිලිබඳ ප‍්‍රාථමික තොරතුරු පුරාවිද්‍යාත්මක ක‍්‍රමවලින් සැපයෙන්නේ ද ඒවා පුරාවිද්‍යාත්මක උරුමය ලෙස අර්ථ දැක්වේ. ඒ සඳහා මානව කි‍්‍රයාකාරිත්වයේ සියලු ලක්‍ෂණවලට අදාළ ස්ථාන මෙන්ම අතහැර දමන ලද ව්‍යුහ ඇතුළුව සියලු වර්ගවල න්ෂ්ටාවශේෂ අයත් වේ (1998 අංක 24 ආඥා පනත 16 වගන්තියේ 1 වන උපවගන්තිය).
ප‍්‍රධාන ප‍්‍රඥාප්තියට අදාළව “ස්මාරකය” පිළිබඳව මෙතෙක් පැවැති අර්ථකථනය ඉවත් වන අතර ඒ සඳහා නව අදහසක් සංශෝධන පනතේ 16 වගන්තියේ 2 වන උපවගන්තිය යටතේ දැක්වේ. එම වගන්තියට අනුව “යම් ගොඩනැඟිල්ලක් හෝ වෙනත් ඉදිකිරීමක් හෝ යම් සොහොන් ගෙයක්, ස්තූපයක් හෝ වෙනත් භූමදාන ස්ථානයක් හෝ එවැනි ස්වරූපයේ වෙනත් ස්ථානයක් හෝ ඓතිහාසික හෝ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස හෝ කි‍්‍රයාත්මක ද්‍රව්‍යමය නෂ්ටාවශේෂ සොයා ගත හැකි වෙනත් යම් ස්ථානයක්” ස්මාරකයක් ලෙස අර්ථ දැක්වේ.
ඊට අමතරව යම් ස්මාරකයක් ඇති ස්ථානයක් හා යම් ස්මාරකයක් වටා ආවරණය කිරීම හෝ අන්‍යාකාරයකින් ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය විය හැකි යාබද ඉඩමක යම් කොටසක් වෙත් නම් එය ද ස්මාරකය යන සංකල්පයට අන්තර්ග‍්‍රහණය වන බව මෙම වගන්තියේ වැඩිදුරටත් දක්වයි (1998 අංක 24 ආඥා පනත 16 වගන්තියේ 2 උප වගන්තිය).
මෙම සංශෝධන නව පනත මගින් “දෙශීය සමුද්‍රය” යන වචනය ද නව අර්ථකථනයක් ලබා දී ඇත. ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 22 දරන සමුද්‍රීය කලාප නීතිය යටතේ කරන ලද ප‍්‍රකාශයක් මගින් ශ්රී ලංකාවේ දේශීය සමුද්‍රය වශයෙන් ප‍්‍රකාශිත ප‍්‍රදේශය එයට අයත් බව දැක්වේ.
වැදගත්කම
- 1940 අංක 24 දරන ප‍්‍රධාන ප‍්‍රාඥාප්තියේ නාමය අර්ථවත් ලෙස සංශෝධනයට ලක්වීම
- ශ‍්‍රී ලංකාවේ සමුද්‍රාශ‍්‍රිත පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා නෛතික බලය පැවරීම
- පුරාවස්තු සොරකම් කිරීම හා විනාශ කිරීමට අදාළ වැරදි සඳහා දෙනු ලැබු දඬුවම් හා දඩ බලාත්මක කිරීම
- “පැරණි ස්මාරකය” පිළිබඳව පැහැදිලි කාල නිර්ණයක් ලබා දීම
- අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් පුරාවස්තු ආරක්‍ෂා කිරීම සඳහා උපදේශන කමිටුවක් පත් කිරීම
- අදාළ කමිටුව මගින් පුරාවිද්‍යා කොමසාරිස්වරයාට අවශ්‍ය උපදේශන ලබාදීමට තීර්ණය කිරීම
- යාවත්කාලීන වන සමාජයට ගැලපෙන පරිදි “පුරාවිද්‍යා කොමසාරිස්” යන තනතුරු නාමය සංශෝධනයට ලක් කිරීම
- පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ බලතල හා කාර්ය විමධ්‍යගත කිරීම හා ප‍්‍රාදේශීය පුරාවිද්‍යා කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා අවස්ථාව හිමි වීම
- යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලින් පුරාවිද්‍යා උරුම ස්ථානවලට සිදු වන හානි පාලනය කිරීම සඳහා නව වගන්ති ඇතුළු කිරීම
- ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යා නිළධාරීන්ගේ සේවාව ඇගයීම හා දිරිමත් කිරීම සඳහා නව ත්‍යාග අරමුදලක් පිහිටුවීම
- විශේෂ පැහැදිලි කිරීම් ඇතුළත් නව අර්තකතන කිහිපයක් ඉදිරිපත් කිරීම
නිගමනය
ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ ප‍්‍රථම දේශීය කොමසාරිස්වරයා වන මහාචාර්ය සෙනරත් පරණවිනාත වගන්ති හතළිස් නවයකින් යුත්ත 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත ප‍්‍රකාශයට පත් කරන ලදි. ඒ සඳහා ප‍්‍රථම සංශෝධනය 1955 වර්ෂයේ දී සිදු වු අතර යාවත්කාලීන සමාජයට ගැලපෙන පරිදි වර්ෂ හතලිස් තුනකට පසු දෙවන සංශෝධනය ප‍්‍රකාශනයට පත් කරන ලදි. එය 1998 අංක 24 දරණ සංශෝධන පනත ලෙස හඳුන්වනු ලැබේ. මෙම සංශෝධිත නව පනත මගින් පුරාවිද්‍යා ශික්‍ෂණයේ නෛතික බලය වර්ධනය වීම සිදු වුවා සේම පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට ද හේතු විය. එය ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ කැපී පෙනෙන ඉදිරි පියවරකි.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
- ගමගේ රංජිත්, 2012, පුරාවස්තු ආඥාපනත යටතේ සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගත හැකි වන්නේ කුමන අධිකරණයෙන් ද?, දායාද පුරාවිද්‍යා පුවත් අටුවාව, හයවන කලාපය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
- 1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනත, ගැසට් පත‍්‍රය, 11 වන කොටස, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, කොළඹ.
- 1940 අංක 24 09 දරණ පුරාවස්තු ආඥා පනත, සිංහල පරිවර්තනය, 1997, ගවේෂණ සහ ලේඛනගත කිරීමේ අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
[ඉහත දක්වා ඇති ඡායාරූපය http://lankapura.com වෙබ් අඩවියෙන් ලබාගත් බව කාරුණිකව සලකන්න.]
---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.04.10 වැනි දින පළමු වරට www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ පළ විය.
---------------------------------------------------------------------------------