දෙමළ බ්‍රාහ්මී යනු කුමක් ද?

මෑතක දී දෙමළ දේශපාලඥයෙකු විසින් කළ ප්‍රකාශයක් නිසා සිංහල ජනතාව අතර කැළඹීමක් ඇති විය. දෙමළ දේශපාලකයන් ඇතැම් අදහස් ප්‍රකාශකරන්නේ සත්‍ය බවට ඔවුන් විශ්වාසකරන, වැරදි බවට ඔප්පුකර නැති, මෑතදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාධක මත ය. එසේ හෙයින් ඒ පිළිබඳ ව වංශකතා අනුව ඉදිරිපත් කරන අදහස් වලින් ඒවා විඛණ්ඩනය කළ නොහැකි ය. ඒ අදහස්වලට විරුද්ධව මතයක් ඉදිරිපත් කළ හැක්කේ එම නව පුරාවිද්‍යාත්මක සාධක ගැන අධ්‍යනයකින් පසුව පමණක් බව සැලකීම වැදගත් ය.

දෙමළ බ්‍රාහ්මී ලිපි හා දෙමළ ජනාවාස ගැන ඉදිරියෙන් ම කටයුතු කළ එක් දෙමළ විද්වතකු වන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී. පුෂ්පරත්නම් ය. ඔහු විසින් 2002 වසරේදී “ලංකාවේ දෙමළ රජවරුන්ගේ පැරණි කාසි” නම් ග්‍රන්ථය ද, 2014 දී ‘ජර්මන් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගත් වසර 2200ක් පැරණි දෙමළ බ්‍රාහ්මී සෙල්ලිපි’ නම් පත්‍රිකාව ද පලකළ නමුත් ඒවායේ සත්‍යාසත්‍ය භාවය පිළිබඳ පර්යේෂණ කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අඩු වශයෙන් එවැනි කෘති ඇති බවටවත් බොහෝ අය නොදනී. බොහෝවිට යාපනය විශ්වවිද්‍යාලයේ මේ නව පර්යේෂණ ගැන අධ්‍යනය කළා සේම උගන්වන්නට ද ඇත. එහෙත් අනෙක් විශ්වවිද්‍යාලවල විද්වතුන් මේ ගැන පිළිගතහැකි පර්යේෂණ කර නැතුවා මෙන්ම බොහෝ දෙනෙකුට මේ ගැන නිසි අවබොධයක් ද නැත. ඒ නිසා සාමාන්‍ය සිංහල ජනතාව, ඉංග්‍රීසියෙන් හා දෙමළෙන් ලියා ඇති නව අදහස් ගැන කිසිවක් නොදැන සිටියහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිතැතින් ම සිදුවන්නේ දෙමළ විද්වතකු හෝ දේශපාලනඥකු ඒ ගැන සඳහන් කරන විට සිංහල ජනතා‍ව කෝපයට පත්වීමයි. යාපනයේ උගතුන් ඒවා දැනසිටියා මෙන් ම ඔවුනොවුන් අතර සාකච්ඡා ද කළහ. එහෙත් ඒ ගැන නොදන්නා අයවළුන් සමඟ අනවශ්‍ය වාදයන්ට පැටලීමට ඔවුන් උනන්දුවූයේ නැති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී පසුබිම

ලංකාවේ මෙන් ම දකුණු ඉන්දියාවේ ද පැරණි සෙල්ලිපි තිබුණේ බ්‍රාහ්මී අක්‍ෂර වලිනි. මුල් බ්‍රාහ්මී අක්‍ෂරවලින් යුත් ලිපි පරීක්‍ෂාකිරීමේ යෙදී සිටි සුබ්‍රමනියම් අයියර් නම් දකුණු ඉන්දියානු පර්යේෂකයා වර්ෂ 1906 දී අසෝක බ්‍රාහ්මී ලිපිවල නොමැති අක්‍ෂර හතරක් සොයාගත්තේ ය. ඒවා ඇතැම් බ්‍රාහ්මී අක්‍ෂරවලට වැඩිපුර අංග එකතුවීමෙන් සාදා ඇති බව පෙනෙන්නට තිබිණ. ඒවානම්:

ව 1:දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර හතර
ව 1:දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර හතර

ආර්ය භාෂාවල නොමැති උච්චාරණ ශබ්දයන් (phonetic values) හතරක් දෙමළ භාෂාවේ තිබේ. මේ අක්‍ෂර හතර එම විශේෂිත ශබ්දයන් නිරූපණය කිරීම සඳහා ක්‍රි.පූ. 2වන සියවසේ දී පමණ නිපදවා ඇත.

මුලින් ම ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි කියැවූ විද්වතුන් මෙහි දෙමළ ල ලෙස දැක්වෙන අක්‍ෂරය ලංකාවේ ලිපිවල ද තිබෙන බව නිරීක්‍ෂණය කර එය සිංහල බ්‍රාහ්මී දන්තජ ලු ලෙස හඳුනාගෙන තිබිණ. එහෙත් එය අසෝක බ්‍රාහ්මී ලු වලට වඩා හැඩයෙන් වෙනස් විය. සුබ්‍රමනියම් අයියර් ගේ සොයාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ හමුවූ අක්‍ෂරය දෙමළ අක්‍ෂරයක් බවටත්, ඒ නිසා ලංකාවේ බ්‍රාහ්මී අක්‍ෂරමාලාවට දෙමළ අක්‍ෂරමාලාවේ ආභාසය ලැබී තිබුණ බවටත් අදහසක් ඇති විය. එහෙත් ලංකාවේ විද්වතුන් පොදුවශයෙන් එය පිළිනොගත් අතර, අදාළ අක්‍ෂරය දකුණු ඉන්දියාවේ දෙමළ උච්චාරණ ශබ්දයක් සඳහා භාවිත වුව ද ලංකාවේ එය දන්තජ ලු ලෙස භාවිත වූ බව සැලකූහ. වර්ෂ 1971 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් පලකළ ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ග්‍රන්ථයේ පළමු කොටසේ මේ ගැන සවිස්තර පැහැදිලි කිරීමක් කර තිබේ.

වර්ෂ 1981 දී යාපනයේ අන්නෛකෝට්ටේ නම් ස්ථානයක පැරණි සොහොන්බිමක් කැණීමේ දී යාපනය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකට අක්‍ෂර සහිත මුද්‍රාවක් හමුවිය. එය ක්‍රි.පූ. 3වැනි සියවසට පමණ දින නියමකරණු ලැබිණ. මෙම මුද්‍රාවේ උඩ පේළියේ නොදන්නා සංකේත තුනක් ද ඒවාට පහළින් බ්‍රාහ්මී අක්‍ෂර තුනක් ද තිබිණ.

රූපය 1: අන්නෛකෝට්ටේ මුද්‍රාව
රූපය 1: අන්නෛකෝට්ටේ මුද්‍රාව

මෙම මුද්‍රාව මුලින් ම කියැවූයේ යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාර්තිගේසු ඉන්‍ද්‍රපාල විසිනි. ඔහු එය කියවනු ලැබුවේ කොවෙතං ලෙස ය. එහි අර්ථය ප්‍රධානියා ලෙස දක්වන ලදී මේ සමඟම ශ්‍රී ලංකාවේ අක්‍ෂරමාලාවට දෙමළ අක්‍ෂරමාලාවේ ආභාසය ලැබී ඇති බවට ඇති අදහස නැවත වරක් ඉස්මතු විය. එයටත් වඩා ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී සෙල්ලිපි ඇති බවට ද අදහස් මතුවිය. ඒ අනුව දෙමළ බ්‍රාහ්මී ලෙස සලකණු ලැබූ අභිලේඛනය එය විය.

මුද්‍රාවේ අභිලේඛනය ‘කොවෙතං‘ ලෙස කියවා, එය දෙමළ බ්‍රාහ්මී ලිපියක් ලෙස අර්ථදක්වන විට පරණවිතාන මහතා ජීවතුන් අතර නොසිටි හෙයින් වෙනත් කියවීමක් ඉදිරිපත් නොවිණ. ඒ අනුව එම කියවීම ලංකාවේ උතුරේ මෙන්ම දකුණේ ද, එසේම විදෙස් රටවල විද්වතුන් ද තරමක සැකයකින් යුතුව පිළිගත්හ.

අතීත ශ්‍රී ලංකාවේ දෙමළ ජනාවාස පිළිබඳ මතය

ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී ලිපි ඇති නම් එයින් ගම්‍යවන අනෙක් කරුණ වූයේ එසේ නම් ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. සමයේ සිට දෙමළ ජනාවාස තිබුණ බවයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනාවාස තිබුණ බවට කිසිම සාහිත්‍යමය මූලාශ්‍රයක සඳහන් නොවේ. එසේම 11 වන සියවසේ චෝළ සමයට පෙර දින නියම කළ හැකි කිසිම දෙමළ සෙල්ලිපියක් යාපනයෙන් හමුව නැත. අනුරාධපුරයෙන් පමණක් 8-10 සියවස්වලට අයත් දෙමළ සෙල්ලිපි හතක් හමුවී ඇත (පද්මනාදන්). ඒවානම්:

  1. අභයගිරි ලිපිය – 8වන සියවසට අයත් අභයගිරි මළුවේ සටහන්කර ඇති බෝධිඝරයකට වර්ග අඩි 256 මළුවක් පූජාකර මුදල් ද දුන් බවට ලිපියක්.
  2. රුවන්වැලි සෑ පළමු ලිපිය – 8-9 සියවසට අයත් ද්වාරපාලක පාදමේ ඇති, අරක්කන් ප්‍රතිමාවක් (ඇතැම්විට ඒ ද්වාරපාලක ඵලකය) නෙලූ බවට ලිපියක්.
  3. රුවන්වැලි සෑ දෙවන ලිපිය – 10වන සියවසට අයත් ඉහත ස්ථානයේ ම සටහන්කර ඇති මණ්ඩපයක් ගොඩනැගූ බවට ලිපියක්.
  4. පන්කුළිය භික්‍ෂුණී ආරාමයේ ලිපිය – 9-10 සියවසට අයත් පඩිපෙළේ ඇති කේචරී ආරචි නම් තැනැත්තෙකු විසින් දානය සඳහා කළ පරිත්‍යාගයක්.
  5. මාක්කෝටායි ලිපිය – දෙවන සේන (839-74) රජු සමයට අයත් අනුරාධපුරයේ තිබුණ මාක්කෝටායි නම් විහාරයට නාන්කුණාට්ටර් නම් වෙළඳ ශ්‍රේණිය විසින් කළ පින්කමක් ගැන විස්තරයක්. මාක්කෝටායි යනු කේරළයේ ගමක් බව පද්මනාදන් පවසයි. ඇතැම්විට දෙවන සේන රජු දකුණු ඉන්දියාව ආක්‍රමණය කළ අවස්ථාවේ මියගිය ඔවුන්ගේ හිතවතුන් වෙනුවෙන් විය හැකි ය. මෙහි අවසානයේ දෙවන සේන රජුට ස්තෝත්‍රයක් සඳහන් වේ.
  6. හින්දු දේවාල ලිපි – සංඝබෝධි රජු ගේ 7වන වසර ලෙස සඳහන් 9වන සියවසට අයත් ලිපි දෙකක්.

මේවායින් රටේ දෙමළ ජනාවාස තිබුණු බවක් හෙළිනොවේ. මේවා කර ඇත්තේ ඇතැම්විට ආක්‍රමණ අවස්ථාවලදී පැමිණි අය විය හැකි ය. පස්වන ලිපිය අනුරාධපුරයේ පිහිටා ඇත්තේ එහි රැඳීසිටි වෙළෙඳුන් විසිනි. ඒ අනුව අනුරාධපුරයේ අවසාන භාගය වන තෙක් දෙමළ ජනාවාස අනුරාධපුරයේ හෝ වෙනත් කිසිම ස්ථානයක තිබුණ බවත් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. සමයට අයත් බෞද්ධ දෙමළ බැතිමතුන් විසින් කළ බ්‍රාහ්මී සෙල්ලිපි පහක් ලැබී තිබේ. මේ පහම එකල පැවති සිංහල භාෂාවෙන් ලියා තිබෙන අතර ඔවුන් ගේ නම් ද අන් අයගේ මෙන් ප්‍රාකෘත ය. එයින් පැහැදිලිවන්නේ ඔවුන් ද අනෙක් එවැනි ජන කොටස් මෙන් ප්‍රධාන ප්‍රවාහයට එකතුවී ඇති බව ය. එසේ නම් යාපනයේ දෙමළින් ‘නායකයා’ යයි සඳහන් මුද්‍රාවක් තිබුණේ කෙසේ ද යන්න පැහැදිලි නොවේ. අනෙක් අතට ඉන්පසු සියවස් 12ක් පමණ කාලයක් කිසිම සෙල්ලිපියක් නැත්තේ ඇයිදැයි යන්න ද සොයාබැලිය යුතු ය.

යාපනයේ දෙමළ ජනාවාස නොතිබුණ බව චූළවංසයේ (50.12) ඇති සඳහනකින් පැහැදිලි වේ. පළමුවන සේන රජු ගේ පාලන සමයේ දී (819-39) පාණ්ඩ්‍ය රජෙකු වූ ශ්‍රීමාර ශ්‍රී වල්ලභ විසින් ආක්‍රමණයක් සිදු කරණ ලදි. ඒ අවස්ථාවේ දී යාපනයේ තැනින් තැන පදිංචිවී සිටි ද්‍රවිඩයන් ද ආක්‍රමණිකයන් හා එක් වූ බව එහි සඳහන් ය. එයින් පෙනී යන්නේ එම කාලය වනවිට යාපනයේ දෙමළ ජාතිකයන් සුළු පිරිසක් පදිංචි ව සිටි බවයි. එනම් සුළු වශයෙන් දේශීය දෙමළ ජනතාවක් සිටි බව එමගින් ස්ථිර වේ. ඉහත සඳහන් කළ අනුරාධපුරයේ ඇති පස්වන දෙමළ සෙල්ලිපියේ සදහන්වන දෙවන සේන රජු මේ ආක්‍රමණයට පසු පාණඩ්‍ය දේශය ආක්‍රමණය කර කොල්ලකාගත් සියළු වස්තුව නැවත ගෙන ආවේ ය.

ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී පිළිබඳ පර්යේෂණ

වර්ෂ 1979 සිට 1983 තෙක් ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතුකළ ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න වර්ෂ 1984 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශනයක් වූ එපිග්‍රැපියා සෙලනිකා හත්වන වෙළුම ප්‍රකාශයට පත්කළේ ය. එහි ඔහු සඳහන් කළේ ලංකාවේ සිංහල සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් ඇති බවත් ඒවා දෙමළ ළ හා දෙමළ ල බවත් ය. අන්නෛකෝට්ටේ මුද්‍රාව නිසා පිබිඳීමක් ලත් දෙමළ විද්වතුන් කරුණාරත්න ගේ මේ අදහස නිසා පර්යේෂණ කරන්නට පටන්ගත්හ. මේ වන විට දෙමළ බෙදුම්වාදී අදහස් ආරම්භ වී තිබුණ නිසා 70 දශකයේ දී නොයෙක් දෙමළ විද්වතුන් නොයෙක් පොත්පත් දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් පළකරමින් තිබිණ.
අනතුරු ව 90 දශකයේ දී ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ පර්යේෂණ කළ දේශීය හා විදේශීය විද්වතුන් ගණනාවක් දෙමළ බ්‍රාහ්මී ලෙස නම් කළ සෙල්ලිපි ගණනාවක් දකුණේ, විශේෂයෙන් තිස්සමහාරාමය ප්‍රදේශයෙන් සොයාගත්හ. නොපැහැදිලි ඇතැම් සෙල්ලිපි ද දෙමළ බ්‍රාහ්මී ලිපි ලෙස හඳුනාගනු ලැබිණ. ඒ නිසා අතීතයේ දී ශ්‍රී ලංකාවේ උතුරේ මෙන් ම දකුණේ ද දෙමළ ප්‍රජාව වාසය කළ බව විශ්වාස කරන ලදී. එසේ ම මේ ඇතැම් ලිපි ක්‍රි.පූ. 3 සියවසට අයත් බව තීරණය කළ නිසා දෙමළ ප්‍රජාව වෙනම ප්‍රජාවක් ලෙසින් ඉතා ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ජීවත් වූ බව පිළිගන්නා ලදී. මෑතක දී ඇතැම් දෙමළ විද්වතුන් හා දේශපාලඥයන් විසින් ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රජාව දෙමළ ප්‍රජාව බවට ප්‍රකාශකර සිටින්නේ මේ නිසා ය. මේ කරුණ ගැන පිළිගත හැකි කරුණු පැහැදිලි කිරීමක් සිංහල විද්වතුන් විසින් මේ වන තෙක් කර නැත.

වර්ෂ 1991 දී ජර්මනියේ කාවා ආයතනය විසින් තිස්සමහාරාමයේ අකුරුගොඩ ප්‍රදේශයේ කැණීමක් ආරම්භ කළහ. එහි පළමුවන වාර්තාව 2001 දී ප්‍රකාශයට පත්වූ අතර එහි දෙමළ බ්‍රාහ්මී සෙල්ලිපි ලෙස හඳුනාගත් ලිපි කිහිපයක් ම තිබිණ. ඒවා අතර ප්‍රධානවන්නේ තිස්සමහාරාම දෙමළ බ්‍රාහ්මී ලිපිය නම් මැටිබඳුන් කැබැල්ලක ඇති අක්‍ෂර කිහිපයකි. සිංහල විද්වතුහූ කිහිපදෙනෙක් නොයෙක් අදහස් ඉදිරිපත් කළ ද එය දෙමළ බ්‍රාහ්මී ලිපියක් බවට ඇති පිළිගැනීම එසේම පවතී. වර්ෂ 1999 දී රාජා වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි විසින් රචිත Ruhuna, An Ancient Civilisation Re-Visited නම් ග්‍රන්ථයේ අකුරුගොඩින් හමුවූ කාසි ටෝකන කිහිපයක දෙමළ බ්‍රාහ්මී අභිලේඛන ඇති බවට තීරණයකර තිබිණ. ඇත්තෙන් ම ජර්මන් වාර්තාවේ හා ඉහත Ruhuna නම් ග්‍රන්ථයේ දෙමළ බ්‍රාහ්මී ලිපි හා පාඨ ඇති බවට සඳහන් වූයේ සද්ධාමංගල කරුණාරත්න විසින් කර ඇති ප්‍රකාශනය හේතුවෙනි. එනම් ලංකාවේ දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර ඇති බවට කර ඇති ප්‍රකාශයයි. ඒ අනුව ඇතැම් අකුරු දෙමළ බ්‍රාහ්මී ලෙස හඳුනාගනු ලැබිණ.

කලින් කී ලෙස මේ විෂයය ගැන වැඩියෙන් ම හා වඩාත් සවිස්තරව ලියා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පුෂ්පරත්නම් ය. ඔහු තම පර්යේෂණ ආරම්භ කළේ ලංකාවේ දෙමළ බ්‍රාහ්මී පිළිබඳ වාර්තා ගණනාවකින් පසුව ය. ඒවා අතර:

  1. වර්ෂ 1981 දී අන්නෛයිකෝට්ටේ අභිලේඛනය දෙමළ බ්‍රාහ්මී ලෙස පිළිගෙන තිබුණි.
  2. වර්ෂ 1984 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වූ සද්ධාමංගල කරුණාරත්න විසින් ලංකාවේ සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් ඇති බව තමන් විසින් පල කළ Epigraphia Zeylanica Vol. VII, 32-33. හි සඳහන්කර තිබිණ.
  3. වර්ෂ 1999 දී රාජා වික්‍රමසිංහ හා ඔස්මන්ඩ් බෝපේආරච්චි විසින් රචිත Ruhuna, An Ancient Civilisation Re-Visited නම් ග්‍රන්ථයේ අකුරුගොඩින් හමුවූ කාසි ටෝකන කිහිපයක දෙමළ බ්‍රාහ්මී අභිලේඛන ඇති බවට තීරණයකර තිබිණ.
  4. වර්ෂ 2001 දී ජර්මනියේ KAVA ආයතනය විසින් අකුරුගොඩින් ලැබුණ මැටිබඳුන් කිහිපයක් තිබුණ අභිලේඛන දෙමළ බ්‍රාහ්මී ලෙස සටහන් කර තිබිණ.
  5. ඉහත කරුණු වැරදි බවක් කිසිම පර්යේෂකයෙකු විසින් තහවුරුකර නොතිබිණ.

පිළිගත් පුද්ගලයන් ගේ හා ආයතනවලින් දක්වා ඇති මේ සාධක පුෂ්පරත්නම් ගේ පර්යේෂණවලට ඉවහල් වූවා සේම උත්තේජනයක් වූවා නිසැක ය. එහෙත් එකදු දෙමළ සෙල්ලිපියක්වත් සොයාගැනීමට ඔහු අපොහොසත් විය. ඒ අනුව ඔහු කළේ සිංහල බ්‍රාහ්මී ලිපිවල කිසියම් දෙමළ වචන ඇතිදැයි සොයාබැලීම ය. කළුගල් පෘෂ්ඨයන් මත තිබුණ නොයෙක් විශමතාවන් උපයෝගීකර ගැනීමෙන් එවැනි වචන ඇතැම් සෙල්ලිපිවල ඇති බව ඔහු කියා සිටියේ ය. ඒ නිසා ශ්‍රී ලංකාවේ දකුණේ දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර සහිත බොහෝ සෙල්ලිපි ඇති බව 2014 දී ඔහු කියා සිටියේ ය. එසේ ම එහි දෙමළ පාලකයන් සිට ඇති බවත් දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර සහිත කාසි ද ඔවුන් විසින් නිකුත්කර ඇති බවත් කියා සිටියේ ය. එයින් හැඟවෙන්නේ විශාල දෙමළ ප්‍රජාවක් දකුණ ප්‍රදේශයේ ජීවත්ව සිටි බව ය.

දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර හා ලිපි ශ්‍රී ලංකාවේ තිබේ ද?

ඇතැම් දෙමළ විද්වතුන් විසින් කියන පරිදි වංශකතාවල සඳහන්ව නැති දෙමළ රජවරුන් සිටියේ ද, උතුරේ හා දකුණේ දෙමළ ජනවාස තිබුණේ ද යන මතය සනාථ කිරීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට කළ යුත්තේ එම මතය ගොඩනගා ඇති මූලික සාධක වන මෑතක ඉදිරිපත් වූ පුරාවිද්‍යාත්මක සාධක ගැන පරීක්‍ෂාකිරීමෙනි. ඒවා අතර ප්‍රධානවන්නේ:

  1. අන්නෛකොට්ටේ මුද්‍රාවේ අක්‍ෂර දෙමළ බ්‍රාහ්මී ද?
  2. තිස්සමහාරාම මැටිබඳුන් කැබැල්ලේ ඇත්තේ දෙමළ බ්‍රාහ්මී අභිලේඛනයක් ද?
  3. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් විසින් කියා ඇති ලෙස ශ්‍රී ලංකාවේ දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් තිබේ ද?

යන කරුණු ය. එමඟින් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය හැකි ය. ඒ අනුව අන්නෛකොට්ටේ මුද්‍රාව හා තිස්සමහාරාම මැටිබඳුන් කැබැල්ලේ ඇති අභිලේඛනය දෙමළ බ්‍රාහ්මී බව ද සද්ධාමංගල කරුණාරත්න මහතා විසින් කියා ඇති ලෙස ශ්‍රී ලංකාවේ සිංහල බ්‍රාහ්මී සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මී අක්‍ෂර දෙකක් තිබෙන බව ද ඔප්පු වුවහොත්, ඒ දෙමළ විද්වතුන් හා දේශපාලකයන් ප්‍රකාශකරන කරුණු සත්‍යබව පිළිගැනීමට සිදුවේ.
එසේම ශ්‍රී ලංකාවේ වංශකතා දෙමළ ජාතිකයන් පිළිබඳ සත්‍යය වසන්කරන බවට ඔවුන් කියනා අදහස් ද පිළිගැනීමට සිදුවනු ඇත.

එසේ නොමැති ව වෙනත් මූලාශ්‍රය හෝ වංශකතා මත පදනම් ව කරන නොයෙක් තර්කවලින් දෙමළ විද්වතුන් විසින් මතුකර ඇති මතවාද ගැන නිසි සංවාදයක් ඇතිවන්නේ නැත.

  1. Early Tamil Epigraphy From the Earliest Times to the 6th Century A.D. By Iravatham  Mahadevan, An Overview by S. Swaminathan (http://www.indian-heritage.org/swaminathan/ tamilscripts/index.html#slide) [13/02/2019]
  2. Inscriptions of Ceylon Vol. I, xxiii
  3. https://en.wikipedia.org/wiki/Tamil_inscriptions_in_Sri_Lanka
  4. අංක 94, 356, 357, 480 (Inscriptions of Ceylon Vol. I) සහ Epigraphical Notes, පි. 63
  5. අකුරුගොඩ ක්‍රි.පූ. සමයේ සිට අනුරාධපුර අවසාන සමය පමණ දක්වා ලංකාවේ පැවති තිස්සමහාරාමයට ආසන්න විශාල වෙළඳ නගරයකි. වර්ෂ 1978 දී පමණ දේශපාලඥයෙකු විසින් මේ ප්‍රදේශය ජනතාවට බෙදාදෙනු ලැබූ නිසා දැන් විනාශයට පත්වී ඇත.
Previous articleමාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
Next articleශිෂ්ටාචාරය වෙනුවෙන් දිවි පිදූ විරුවා: කාලිද් අල් අසාද්
ප්‍රසාද් ෆෝන්සේකා
මෙහි කතුවරයා ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ස්වාධීන පර්යේෂකයෙකි. ඔහු විසින් කෝට්ටේ පැරණි නගරයේ ස්මාරකයන් ගැන Kotte: the Fortress (National Trust of Sri Lanka, 2015), දීපවංසය (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2019) යන ග්‍රන්ථයන් ප්‍රකාශයට පත්කර ඇත. ඔහු විසින් බ්‍රාහ්මී අක්‍ෂරමාලාව හා සෙල්ලිපි ගැන ද වෙනත් විෂයයන් පිළිබඳව ද විද්වත් සඟරාවන් හා ග්‍රන්ථවල පත්‍රිකා ගණනාවක් ප්‍රකාශයට පත්කර ඇත. ඒවා අතර රාජකීය ආසියාතික සංගමයේ 2008 හා 2010 කලාප, අභය ආර්යසිංහ, සිරිමල් රණවැල්ල, විනී විතාරණ හා කේ ඩී පරණවිතාන ආදි මහාචාර්යවරුන් ගේ අභිනන්දන සංග්‍රහයන්, පුරාවිද්‍යා සංහිතා ආදිය වේ. එසේම දේශීය හා සාක්, දකුණු ආසියානු ආදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණවල ද පත්‍රිකා ඉදිරිපත්කර ඇත. ඔහු කෝට්ටේ උරුමය පදනමේ ආර්ම්භක සභාපතිවරයා ද වේ.

1 COMMENT

  1. ලිපිය ලියූ ඔබ ද පුෂ්පරත්නම් වගේම අගතිගාමිව ලියා ඇති බව මගේ’විශ්වාසයයි. ඔබ මහාවංසය පිළිගන්න කෙනෙක් බව තේරෙනවා.මට කියන්න විජය රජුන් සමග ලංකාවට ආපු කුමාරවරුන්ට ගෑණු ගෙනාවේ කොහෙන්ද?උතුරු ඉන්දියාවෙන්ද ? දුටුගැමුණු මහා රජු සටන් කලේ සිංහල එළාර එක්කද? මේ සිදුවීම් ක්‍රි පුර්වද ? වර්ෂද ? දෙමළුන් සත්දෙනෙක් ගේ’පාලනය ? ඔයා හිතනවද එයාල තනියම ඇවිත් ඔහේ රජකම් කරලා තනියම ආපහු උන්ගේ’රටට ගියා’කියල ? වෙළදාමේ ආපු එවුන් ඇවිත් බඩු වික්කා’ගියා’කියල ඉන්න’ඇති කියල ? ස්වාධීනව’මෙන්ම විචාරවත්ව විමසා බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here