Home Blog Page 24

ඉන්දීය ගෘහ නිර්මාණ කලාවෙන් මතු වූ චෛත්‍ය ශාලා

ඒ.කේ. රංගිකා මධුමාලි

කැලණිය විශ්වවිද්‍යාලය.
rangikathilakarathn8@gmail.com

. . . ඉපැරණි භාරතීය කලා නිර්මාණ පිළිබඳ අධ්‍යයනයේ දී විශේෂ ස්‌ථානයක්‌ ලෙන් විහාර කර්මාන්තයට හිමි වේ. පුරාණ ඉන්දියාවේ පිහිටි පර්වතයන් හි ලෙන් කැනීම අශෝක අධිරාජ්‍යයාගේ යුගයේ දී ආරම්භ විය. පිහිටි පර්වත ගිරිශිඛරයන් හි ලෙන් කැනීම පිළිබඳ පූර්වාදර්ශයක්‌ තිබූ බවට ඉන්දියාවේ සාධක සොයාගැනීමට අපහසු වන අතර එය අශෝක අධිරාජ්‍යයාගේ සමයේ ඇති වූ නවතම දෘෂ්ටියක්‌ යැයි විද්වතුන්ගේ මතය වේ. මුල් කාලයේ ලෙන් ආජීවකයන් සඳහා නිර්මාණය වූ බවත් අශෝක යුගයෙන් පසු ලෙන් කැනීම මහා පරිමාණයෙන් බටහිර ඉන්දියාවේ ආරම්භ විය.

ලෙන් කැනීමට සුදුසු ආකාරයෙන් සැකසීම සඳහා අවශ්‍ය භූගෝලීය පිහිටීම බටහිර ඉන්දියාවේ පිහිටා තිබේ. විශේෂයෙන්ම බටහිර සාට්‌ස්‌ කඳුකරයේ උතුරු කොන්කන් ප්‍රදේශයේ හා සහ්යද් කඳුකරය ආදිය පෙන්වා දිය හැක. ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවස දක්‌වා පමණ ලෙන් බොහෝමයක්‌ කැනීම් කර නිර්මාණය කර ඇති අතර ඒවායෙන් බහුතරයක්‌ බෞද්ධ ආගම හා බැඳුණු නිර්මාණ වේ. . . .

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා – 2016.10.19 දිවයින බදාදා අතිෙර්කය

කෞතුක වස්තු සංරක්ෂණ විධික‍්‍රම (සීගිරිය කෞතුකාගාරය ඇසුරින් කෙරෙන විවරණයකි)

දීපිකා සී. දිසානායක

පර්යේෂණ නිලධාරී (පුහුණවන)
අභයගිරි ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

dmdcdeepika@gmal.com

deepika-c-dissanayake
දීපිකා සී. දිසානායක

සංරක්ෂණය වූ කලී කෞතුකාගාරයක කෞතුක වස්තූන්හි දිරාපත් වීමේ වේගය අවම කර එහි ආයු කාලය දීර්ඝ කර ගැනීමට ගනු ලබන විද්‍යාත්මක ප‍්‍රයත්නයන් වේ. සංරක්ෂණය කොටස් දෙකකට සිදු කරනු ලබයි. එනම්, 1. යාන්ත‍්‍රික රසායනික සංරක්ෂණය (Remedial Consevation) හා 2. නිවාරක සංරක්ෂණය (Preventive Conservation) යනුෙවනි. මෙම ක‍්‍රම දෙක ඔස්සේ සිදු කරනු ලබන සංරක්ෂණයේ දී පළමු ක‍්‍රමයේ දී යාන්ත‍්‍රික හා රසායනික ක‍්‍රමවේද භාවිත කරමින් සිදු කරනු ලබයි. මෙම ක‍්‍රමයේ දී පුහුණු සංරක්ෂකයෙකු යටතේ සංරක්ෂණ රසායනාගාරයක් තුළ සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. එසේම එහි සංරක්ෂණ කටයුතු සඳහා මිළ අධික රසායන ද්‍රව්‍යය හා උපකරණ සහිත රසායනාගාර පහසුකම් අනිවාර්ය වේ. මෙය සෑම දෙනාටම සිදුකළ නොහැක්කකි. එ් සඳහා පළපුරුද්ද හා විද්‍යාත්මක දැනුම අනිවාර්ය වේ. මෙයින් දෙ වැනි සංරක්ෂණ ක‍්‍රමය නිවාරක සංරක්ෂණ ක‍්‍රමයයි. එහි දී එ් එ් භාණ්ඩ නිර්දේශිත පාරිසරික තත්ව යටතේ ප‍්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම සිදු කරනු ලබයි. එහි දී භාණ්ඩ දිරාපත් වීමට හේතු කාරක වන සියලූ කාරණා එම පරිසරයෙන් ඉවත් කිරීම කළ යුතුය. මේ සඳහා පුහුණු සංරක්ෂකයින්ගේ දායකත්වය ඝෘජුවම අවශ්‍ය නොවේ. එසේම සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මිළ අධික රසායන ද්‍රව්‍යය හා උපකරණ සහිත රසායනාගාර පහසුකම් මේ සඳහා අවශ්‍ය නොවනු ඇත (කස්තුරිආරච්චි හා අබේරත්න 2005:35). එ් අනුව සරල, පහසු හා මිළ ක‍්‍රමය වන්නේ නිවාරක සංරක්ෂණ ක‍්‍රමයයි. යාන්ත‍්‍රික සංරක්ෂණ ක‍්‍රමයට බඳුන් කරනු ලැබු භාණ්ඩයක් වුවත් නිවාරක සංරක්ෂණ යටතේ නො තැබීමෙන් විනාශ වීමට ඉඩකඩ වැඩිය. එම නිසා සංරක්ෂණ ක‍්‍රමවේද දෙකම භාවිත කරමින් කෞතුකාගාරයක කෞතුක වස්තු සංරක්ෂණය කළ යුතු වේ. සීගිරිය කෞතුකාගාරය තුළ කෞතුක වස්තු සංරක්ෂණයේ දී මෙම ක‍්‍රම දෙක යටතේම විවිධ විධික‍්‍රම භාවිත කරනු ලබයි.

කෞතුකාගාරයක් සතු දහස් සංඛ්‍යාත පුරාවස්තු දෙස බැලීමේ දී එ්වා මනා කළමනාකාරීත්වයකට හා සංරක්ෂණයකට යොමු වීම අනිවාර්ය වේ. මෙම අධ්‍යයනයට බඳුන් කරනු ලබන සීගිරිය කෞතුකාගාරයේ මනා සැලසුමකින් යුක්තව පහසුකම් සහිතව සංරක්ෂණ රසායනාගාරයක් තුළ එය සිදු කරනු ලැබේ. සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණ කටයුතු සඳහා මූලික පදනම දමනු ලැබුවේ මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ උපදෙස් පරිදි වේ. ඔහුගේ මැදිහත්වීම යටතේ සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තු වෙනත් සංරක්ෂණ රසායනාගාරයකට යොමු නොකර එම කෞතුකාගාරය තුළදීම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට හැකි වී ඇත. මේ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්, පළපුරුදු සංරක්ෂණවේදීන් සහිතව අද වන විට මෙහි සංරක්ෂණ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කරනු ලැබේ. මෙම කෞතුකාගාරය තුළ විවිධ මාධ්‍ය වලින් නිර්මිත පුරාවස්තු සියල්ලක්ම පාහේ සංරක්ෂණය කරනු ලැබේ. නිර්මිත මාධ්‍යය අනුව මේවායේ සංරක්ෂණ විධික‍්‍රම එකිනෙකට වෙනස් වේ. මෙම අධ්‍යයනය මගින් සිදු කරනු ලබන්නේ සීගිරි කෞතුකාගාරය තුළ කෞතුක වස්තු සරක්ෂණය සිදු කරනු ලබන සංරක්ෂණ විධික‍්‍රම පිළිබද අධ්‍යයනයක් වේ.

seegiriya-museum-sri-lanka
සීගිරිය ෙකෟතුකාගාරය

මැටිබඳුන් සංරක්ෂණය

පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණ මගින් අනාවරණය කරගන්නා වූ මැටි බඳුන් විවිධ හේතූන් නිසා භෞතික හා රසායනික වශයෙන් විපර්යාසයන්ට ලක්ව විනාශ වීම හෝ දිරාපත්වීම සිදු වේ. එසේ විනාශ වීමට හේතු වූ කරුණු හඳුනා ගෙන පුරාවස්තු භෞතිකව හා රසායනිකව ශක්තිමත් කරමින් ජීව කාලය දීර්ඝ කිරීම සංරක්ෂණයේ ප‍්‍රධාන අරමුණ වේ. මෙම සංරක්ෂණ ක‍්‍රියාවලිය සංරක්ෂණ විද්‍යාගාරය තුළ පියවර ගණනාවක් ඔස්සේ සිදු කරනු ලබයි.

මැටි බඳුන් නිෂ්පාදනයේ සිට භාවිතයට ගැනීම, භාවිතයෙන් ඉවත් කළ පසුව භූ අභ්‍යන්තරිකව වැළලී තිබීමල නැවත ගොඩ ගැනීම, සංරක්ෂණය, ප‍්‍රදර්ශනය හා ගබඩා කිරීම යන සියලූ අවස්ථාවන්වල දී භෞතිකව බහුල වශයෙන් ද රසායනිකව අල්ප වශයෙන් ද විනාශ වීම සිදු වේ (රොඞ්රිගෝ 2011:30). ඉහත ආකාරයේ විවිධ හේතු කාරක නිසා විනාශයට ලක් වී ඇති මැටි බඳුන් සංරක්ෂණය මනා සංයමයකින් හා අවබෝධයකින් කළ යුතු භාරදුර කාර්යයකි. සංරක්ෂණයේ දී පියවර ගණනාවක් ඔස්සේ මේ කාර්යය ඉටු කරනු ලබයි. සිගිරිය කෞතුකාගාරයේ මැටිබඳුන් සංරක්ෂණ විධික‍්‍රම රාශියක් අනුගමනය කරනු ලබයි.

සංරක්ෂණය සිදු කිරීමේ දී පළමු පියවර වන්නේ වාර්තාගත කිරීමයි. එය සංරක්ෂණයේ දී වැදගත් කාර්යභාරයකි. අනාගත සංරක්ෂණ, පර්යේෂණල අධ්‍යයන සඳහා මේ වාර්තාගත කිරීම ඉතා වැදගත් වේ. වාර්තාගත කිරීම්ල ඡායාරූපකරණයල ලිඛිත වාර්තා, සැලසුම් හා වීඩියෝගත කිරීම් වැනි ක‍්‍රමවේද මෙහි දී භාවිත කළ හැකිය. මෙහි දී පුරාවස්තුවේ වර්තමාන තත්වය පැහැදිලි ලෙස වාර්තා ගත කළ යුතුය. පිපිරුම්ල ඉරිතැලීම්ල බඳුනේ හැඩයල හරස්කඩ, පෙර සංරක්ෂණයට ලක්වූවා නම් එම කොටස් ආදී සියල්ල සටහන් කළ යුතුය. පුරාවස්තුවේ සංරක්ෂණයට පෙර තත්වය සංරක්ෂණයෙන් පසු වෙනස් වන නිසා මේ වාර්තාගත කිරීම ඉතා වැදගත් වේ.

සංරක්ෂණයේ දී පළමු කොට ම පුරාවස්තු පිරිසිදු කළ යුතු වේ. පිරිසිදු කිරීම ආකාර දෙකකට සිදු කරනු ලබයි. එනම්, 1. යාන්ත‍්‍රික ක‍්‍රමය හා 2. රසායනික ක‍්‍රමය යන ක්‍රම භාවිත කිරීමයි. යාන්ත‍්‍රික ක‍්‍රමයේ දී ලී පතුරු, ඉරටු, බුරුසු වැනි සරළ උපකරණ භාවිත කර පස් හා අපද්‍රව්‍යය ඉවත් කිරීම ගත හැකි ය. තද උපකරණ භාවිතයෙන් සීරීම්, පැල්ලම්, කැපීම් ඇතිවිය හැකි නිසා එ්වා භාවිත නොකරයි. රසායනික පිරිසිදු කිරීමේ දී ආශ‍්‍රැත ජලය සමග ඇසිටෝන්, ආශ‍්‍රැත ජලය සමග ඇල්කොහොල් මිශ‍්‍රණය භාවිත කෙරේ. වඩා දුර්වල තත්වයේ ඇති මැටි බඳුන් පිරිසිදු කිරීමේ දී ඉරටුවල දැවටු පුළුන් භාවිත කර (Cotton Swab) සිදු කරනු ලබයි. ඉහත රසායනික ද්‍රව්‍යය භාවිතයෙන් පිරිසිදු කිරීම සිදුකළ ද විශාල ප‍්‍රමාණයේ හා හොඳ තත්වයේ මැටි බඳුන් පිරිසිදු කිරීමට ආස‍්‍රැත ජලය භාවිත කරයි. අනතුරුව මැටි බඳුන් කොටස් වියළීමට කාමර උෂ්ණත්වයේ දින තුනක්වත් තබනු ලබයි.

මැටි බඳුන්වල අධික ලවණ තත්වයන් ඇති විට ලවණ ඉවත් කිරීම සිදු කරනු ලබයි. ඊට අමතරව දුර්වල මැටි බඳුන්වලට රසායනිකව හා භෞතිකව ශක්තිය වැඩි කිරීමට ස්ථාවර කිරීම සිදු කරයි. මෙහි දී 2%-3% පැරලොයිඞ් B72 හා ටොලූවින් ආලේප කිරීම සිදු කරයි. පිරිසිදු කිරීමෙන් අනතුරුව මැටි බඳුන්වල කොටස් ඇලවීම ඊළඟ පියවරයි. මෙහි දී කොටස් සමබර කරමින් අවශ්‍ය ආධාරක සපයමින් කොටස් අලවනු ලබයි. කොටස් පිරිසිදු කිරීමට පෙර අංකගත කර සැලසුමකට ගෙන තිබීම ඇලවීමේ දී වාසිදායක වේ. අලවන පෘෂ්ඨය සියුම් බුරුසුවකින් පිසදමා ඇසිටෝන් වලින්ද පිසදමා අනතුරුව 50% පැරලොයිඞ් B72 ඇසිටෝන් මිශ‍්‍රණය භාවිත කර ඇලවීම සිදු කෙරේ. අලවන ලද කොටස් දින තුනක් පමණ කාමර උෂ්ණත්වයේ තබා වියළුණු පසු නැවත කොටස් එකතු කරනු ලබයි.

ඉන් අනතුරු ව සිදුකරනුයේ අඩු කොටස් පුරවා භෞතික ශක්තියක් ලබාදීමයි. එ් සඳහා පැරිස් බදාමය භාවිත යොදා ගනි. ඩෙන්ටල් වැක්ස් පතුරු භාවිත කර හැඩය සකසා පැරිස් බදාමය බුබුළු ඇති නොවන සේ ජලය සමඟ මිශ‍්‍ර කරගෙන අඩු කොටස පුරවයි. වැඩිපුර ඇති බදාමය එම අවස්ථාවේ ද වියළුණු පසු ද සූරා වැලි කඩදාසිවලින් ඔපකර මැටි බඳුන සම්පූර්ණ කෙරේ. අඩුතැන් පිර වූ කොටස්වල අවශ්‍ය පරිදි මැටි බඳුන්වල ඇති මොස්තරාදිය සැකසීම ද කරනු ලබයි. ඉන් අනතුරුව සිදුකරනුයේ මැටි බඳුන් වර්ණ ගැන්වීමයි. මේ සඳහා නැවත ඉවත් කිරීමට හැකි දියසායම් මාධ්‍ය භාවිත කෙරේ. මැටි බඳුන් වර්ණ ගැන්වීමට විවිධ උපක‍්‍රම තිබුණ ද මුල් කෘතිය හා කොටස් එකතු කිරීම හඳුනාගත හැකි වන සේ වර්ණ ගැන්වීම සිදු කෙරේ.

එසේ සිදු කරනු ලබන්නේ යාන්ත‍්‍රික රසායනික සංරක්ෂණ ක‍්‍රමවේදයේ දී භාවිත විධික‍්‍රම ඔස්සේ ය. සීගිරිය කෞතුකාගාරයේ මැටි බඳුන් සංරක්ෂණයේ දී යාන්ත‍්‍රික සංරක්ෂණයට පසු මැටි බඳුන් ගබඩා කිරීමේ දී නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදයන් ද යොදා ගනි. එනම්, භාණ්ඩය තබා ඇති ගබඩාවේ, ප‍්‍රදර්ශන කුටියේ පරිසරය නඩත්තු කරමින් උචිත ආලෝකය, උෂ්ණත්වය හා ආර්ද්‍රතාව පවත්වා ගැනීමයි. එමගින් පුරාවස්තුව අවර්ණ වීම, පතුරු යෑම, ඉරි තැලීම වැනි තත්වයන් අවම කර ගත හැකි ය. විශේෂයෙන් කොටස් එකතු කර සංරක්ෂණය කර ඇති භාණ්ඩ සමබර ව ආධාරක තැබීම මගින් දීර්ඝ කාලයක් ආරක්ෂාකාරී ව තබා ගත හැකි ය. එමගින් ඇල වූ කොටස් ගැලවීම ඈත්වීම සිදු නොවේ. එ මෙන්ම එකමත නො ගැටෙන ආකාරයට තැන්පත් කිරීම ද සිදු කෙරේ.  මේ ආකාරයට මැටිබඳුන් සංරක්ෂණයේ දී සීගිරිය කෞතුකාගාරය තුළ මෙම සංරක්ෂණ විධික‍්‍රම භාවිත කරනු ලබයි.

ලෝහ භාණ්ඩ සංරක්ෂණය

කෞතුකාගාරය සතු කෞතුක භාණ්ඩ අතර කාබනික ද්‍රව්‍යවලින් නිර්මිත පුරාවස්තු අතර ලෝහමය භාණ්ඩ වැදගත් වේ. මෙම භාණ්ඩ දිරාපත්වීමට ඉතා ඉක්මනින් භාජනය වන අතර දිරාපත්වීමෙන් සම්පූර්ණයෙන් පාහේ වළක්වා ගත හැකි භාණ්ඩ නොවේ. යකඩ යුගයේ ආරම්භයේ සිට ම ලෝහ වර්ග භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට මානවයින් මැදිහත් වී ඇත. සීගිරිය ප‍්‍රදේශය යකඩ නිෂ්පාදන ප‍්‍රදේශයක්ව ප‍්‍රචලිත ව පැවති බවට සාධක ද ලැබී ඇත. එනම් අලකොලවැව යකඩ උදුන මේ ප‍්‍රදේශයෙන් හමු ව ඇති බැවින් යකඩ හා අනෙකුත් ලෝහ වර්ග වලින් නිර්මිත පුරාවස්තු බොහොමයක් සීගිරිය කෞතුකාගාරය සතුව පවතී. ලෝහමය පුරාවස්තු දිගු කාලයක් තිස්සේ පොළව යට වැළලි තිබීම හේතුවෙන් එ්වා පොළව මතුපිටට ගත් වහා ම වාතාවරණයේ වෙනස් වීම නිසා දිරාපත්වීම දරුණු වේ. එ් නිසා එ වැනි ලෝහමය පුරාවස්තු සංරක්ෂණය සඳහා සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණ විධික‍්‍රම ද විවිධ වේ.

යකඩ

පුරාවිද්‍යා කැනීම් හා ගවේෂණ මගින් අනාවරණය කරගත් යකඩ ලෝහයෙන් නිෂ්පාදිත පුරාවස්තු බොහොමයක් සීගිරිය කෞතුකාගාරය තුළ වේ. මේවා විවිධාකාර හේතුන් නිසා භෞතික හා රසායනික වශයෙන් විපර්යාසයන්ට ලක්ව විනාශ වී හෝ දිරාපත් වී ඇත. එ් නිසා එවැනි පුරාවස්තු සඳහා කෞතුකාගාර රසායනාගාරය තුළ දී යාන්ත‍්‍රික මෙන්ම නිවාරක සංරක්ෂණය සිදු කරනු ලබයි. යකඩ පුරාවස්තුවක් සංරක්ෂණය කිරීමේ දී මනා සංයමයකින් හා අවබෝධයකින් කළ යුතු භාරදුර කාර්යයකි. මෙහි දී පියවර ගණනාවකි. සීගිරිය කෞතුකාගාරය තුළ යකඩ පුරාවස්තු සංරක්ෂණය සිදු කරනු ලබන විධික‍්‍රම මෙබඳු වේ.

මුල්ම පියවර වන්නේ පුරාවස්තුව සංරක්ෂණය කිරීමට ප‍්‍රථම වාර්තාගත කිරීමයි. මෙය සංරක්ෂණයේ දී ඉතා වැදගත් කාර්යයක් වේ. වාර්තාගත කිරීම සිදු කරනු ලබන්නේ ඉහතින් සඳහන් කළ මැටි බඳුන් සංරක්ෂණයේ දී අනුගමනය කරනු ලබන වාර්තාගත කිරීමේ ක‍්‍රමවේද ඔස්සේ වේ. මේ වාර්තාගත කිරීමෙන් අනතුරුව විද්‍යාත්මකව සිදුකරන පර්යේෂණ හරහා පුරාවස්තුවට මැදිහත්වීම සිදු වේ. යකඩ පුරාවස්තුවක් සංරක්ෂණයට යොමු කිරීමට ප‍්‍රථම එහි විඛාදන තත්වය හඳුනා ගැනීම වැදගත්ය. යකඩ පුරාවස්තු විඛාදනය සිදුවන ආකාර තුනකි.

  • වියළි තත්වයන් යටතේ
  • තෙත් තත්වයන් යටතේ
  • විද්‍යුත් රසායනික තත්වයන් යටතේ

මෙම විඛාදන තත්වය හේතුවෙන් සිදුවන මළ බැඳිම හඳුනාගත් පසු සංරක්ෂණ තත්වය ඉතා පහසු වේ.

මෙහි දී පුරාවස්තුව පිරිසිදු කිරීම සංරක්ෂණයේ පළමු පියවරයි. එය යාන්ත‍්‍රික හා රසායනික වශයෙන් ක‍්‍රම දෙකට සිදු කරනු ලබයි. යාන්ත‍්‍රික ක‍්‍රමයේ දී කැපුම් තල මගින් පුරාවස්තුව පිරිසිදු කරනු ලබයි. එහි දී පුරාවස්තුව වටා ඇති සියුම් දුවිලි අංශු හා ලෝහ මල බැදීම් ඉවත් කිරීම සඳහා අත්කාච හා අන්වීක්ෂ වැනි උපකරණ හා සියුම් කෙදි සහිත බුරුසු භාවිත කෙරේ. මෙම කෞතුකාගාරය තුළ මේ පිරිසිදු කිරීම සඳහා  Vibration Tool, Dremal උපකරණ ද යොදා ගනී. මෙහි දී යකඩ භාණ්ඩයේ ප‍්‍රමාණය හා තත්වය අනුව තද උපකරණ භාවිත නොකරයි. මන්ද එමගින් පුරාවස්තුවට සීීරීම්, පැල්ලම්, කැපීම් ඇතිවිය හැකි බැවිනි. මේ පිරිසිදු කිරීමෙන් පසුව රසායනික පිරිසිදු කිරීමේ දී ඇසිටෝන් නම් රසායනිකය 5% පමණ ප‍්‍රමාණයක් ඉන්ජෙක්සන් සිලින්ඩරයකින් ස්පේ‍්‍ර කර සවි වූ පසු පිරිසිදු කරනු ලබයි. මෙම ක‍්‍රියාවලිය සිදු කරනු ලබන්නේ වඩාත් දුර්වල තත්වයෙන් වූ යකඩ පුරාවස්තූන් සඳහා වේ.

යකඩ පුරාවස්තු පිරිසිදු කිරීමේ දී ලවණ ඉවත් කිරීම ප‍්‍රධාන කාර්යයක් වේ. මෙම ලවණ ඉවත් කිරීම කරනු ලබන්නේ ආශ‍්‍රැත ජලය උපයෝගී කරගෙනයි. මෙහි දී ආශ‍්‍රැත ජලයට රසායනික ද්‍රව්‍යය වැඩි වශයෙන් භාවිත නොකරනු ලබයි. විශාල පුරාවස්තුවක ලවණ ඉවත් කිරීමේ දී විද්‍යුත් විච්ෙඡ්දන ක‍්‍රමය හරහා එය සිදු කරනු ලබයි. යකඩ පුරාවස්තුවේ මතුපිට ඉතා ඝණ තට්ටුවක් ලෙස බැෙදන අපද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලබාදීම සිදු කරනු ලබයි.

පිරිසිදු කිරීමෙන් අනතුරුව මතුපිට ආලේපන යෙදීම සිදු කරනු ලබයි. මෙම මතුපිට ආලේපන යෙදීම සිදු කරනු ලබන්නේ වායු සමීකරණ යටතේ වේ. මෙහි දී මතුපිට ආලේපන ලෙස, මැණික් ඇසිඞ් ආලේපන හා ෆිෂ් ඔයිල් ආලේපන (Fish oil) වැක්ස් වර්ග යොදාගනු ලබයි. මෙහිදී මතුපිට ආලේපන යෙදීමේ දී පැරලොයිඞ් B 44 දියරය 3% පමණ කිහිපවරක් භාවිත කරනු ලබයි. යකඩ පුරාවස්තුවේ කැඞී ගිය කොටස් ඇලවීම සිදු කිරීමේ දී ඇරල්ඩයිට් ගම් යොදා ගනී. එනම් ඇරල්ඩයිට් රෙසින හා ඇරල්ඩයිට් හාඞ්නර් ගම් දෙක 1:1 මිශ‍්‍රණයක් සකස් කර ඇලවීම් සිදු කරනු ලබයි.

මෙසේ පුරාවස්තුව පිරිසිදු කිරීමෙන් හා මතුපිට ආලේපන සිදු කිරීමෙන් අනතුරුව පවතින්නේ රසායනාගාර ගබඩාවේ තැන්පත් කිරීමයි. මේ තැන්පත් කිරීමේ දී පුරාවස්තුව උදෙසා නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදය ඔස්සේ සිදු කළ යුතුයි. එනම්, භාණ්ඩය තබන ගබඩාවේ පරිසරය නඩත්තු කරමින් ආලෝකය, ආර්ද්‍රතාව, උෂ්ණත්වය, ක්ෂද්‍ර ජීවීන්ගේ බලපෑම් සිදු නොවන ආකාරයට සැලකිලිමත් විය යුතුය. එමගින් පුරාවස්තුවේ වර්ණය වෙනස් නොවිය යුතුය. තැන්පත් කිරීමේ දී භාවිත රසායනික සියල්ල අවර්ණ විය යුතුය. භාවිත රසායනකි ද්‍රව්‍යය කාලයත් සමග ප‍්‍රතික‍්‍රියා නොකිරිය යුතු වේ. මේ නිසා ගබඩා කිරීමේ දී වායු රෝධක පෙට්ටි මත සිලිකා ජෙල් සමග වායු සමීකරණ තත්ව යටතේ පුරාවස්තුව තැන්පත් කරනු ලබයි. මේ ආකාරයට යකඩ පුරාවස්තු සංරක්ෂණය මේ සංරක්ෂණ විධික‍්‍රම යටතේ සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

තඹ

ලෝහමය පුරාවස්තු අතර තඹ ලෝහයෙන් යුත් පුරාවස්තු බොහොමයක් සීගිරි කෞතුාගාරයේ කෞතුක වස්තු අතර වේ. එනම් බුද්ධ ප‍්‍රතිමා, බෝධිසත්ව ප‍්‍රතිමා, මහා මේරුවල ධාතු කරඬුව ආදී වශයෙනි. මේ සියලු තඹ පුරාවස්තු සංරක්ෂණය කිරීමේ දී කෞතුකාගාරයක සංරක්ෂණ විධික‍්‍රම කිහිපයක් අනුගමනය කරනු ලබයි. එහි දී යකඩ පුරාවස්තු සේම පියවර කිහිපයකින් යුක්ත ය. එම පියවරයන් අතර පළමු පියවර වන්නේ වාර්තාගත කිරීමයි. ඉන්පසු පිරිසිදු කිරීම ආරම්භ කරනු ලැබේ. මෙම පිරිසිදු කිරීමට ප‍්‍රථම තඹ පුරාවස්තුවේ විඛාදන තත්වය හඳුනා ගත යුතුය. තඹ පුරාවස්තුවක් විඛාදනය වීමේ ආකාර කිහිපයකි. එනම්, 1. වායුගෝලීය තත්වයන් යටතේ හා 2. භූ අභ්‍යන්තරික තත්වයන් යටතේ ය. මෙවැනි විඛාදන තත්වයන් මත තඹ පුරාවස්තු දිරාපත් වීමට දැඩි සේ බලපානු ලබන රෝග වැළදේ. තඹ ලෝකඩ රෝගය එ වැන්නක් වේ. මෙම රෝගය වැළදීමෙන් සිදුවන්නේ පුරාවස්තුව හිල්වීමය. මුලින්ම තඹ පුරාවස්තුවේ කුඩා කුඩා ගැටිති සෑදේ. පසුව එ්වා කැඞී ලෝහයත් සමගම ඔක්සිජන් ක‍්‍රියාකාරීත්වය වැඩි වී සිදුරු නිර්මාණය වේ. මෙසේ විඛාදන තත්වයන් හදුනාගත් පසුව පුරාවස්තුව පිරිසිදු කිරීම කළ යුතු වේ.

අනතුරු ව පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. මෙහි දී යකඩ පුරාවස්තු සේම කැපුම් තල භාවිත කරමින් පුරාවස්තුවේ ලෝහ මල ඉවත් කෙරේ. සියුම් අංශු වැනි මල ඉවත් කිරීම සඳහා අන්වීක්ෂ හෝ අත්කාච හා සියුම් කෙදි සහිත පින්සලක් ද භාවිත කරනු ලබයි. අපද්‍රව්‍යය කුඩු වශයෙන් පවතීනම් ඇසිටෝන් දමා සේදීම වැදගත්ම කාර්යයකි. මෙහි දී 100% සුපිරිසිදු ඇසිටෝන් පමණක් භාවිත කෙරේ. මේ පිරිසිදු කිරීමෙන් අනතුරුව 3% BTA සහ එතිල් ඇල්කොහොල් සහිත බීකරයක පුරාවස්තුව තැන්පත් කර වැකුම් මැෂින් එකක තප්පර 20ක පමණ ප‍්‍රමාණයක් තබනු ලබයි. පැය 8ක පමණ ප‍්‍රමාණයක් එ් ද්‍රාවණයේ ම පුරාවස්තුව තැබූ විට පුරාවස්තුවේ ඇති අයන සමග රසායනිකය එකතු වී ශක්තිමත් සංකීර්ණයක් නිර්මාණය වීමක් සිදු වේ. මෙහි දී පුරාවස්තුව මත BTA වැඩි වශයෙන් සුදු පැහැයෙන් තැන්පත් වී ඇතිනම් 100% එතිල් ඇල්කොහොල් යොදා පුරාවස්තුව සේදීම ඉතා සුදුසු වේ. ඉන් අනතුරුව සිලිකා ජෙල් සමග පුරාවස්තුව භාජනයකට දමා ටිෂු කඩදාසි මත ඔබා වේළගනු ලබයි. මෙය දින 3ක පමණ කාර්යයකි. අනතුරු පියවර වන්නේ මතුපිට ආලේපන යෙදීමයි. මෙහි දී තඹ පුරාවස්තුවේ ඉන්කලැක් දියරය 3%ක් ටොලූවින් ද්‍රාවණයේ දියකරගෙන මතුපිට ආලේපනයක් ලෙස තඹ පුරාවස්තුව මත පින්සලක් ආධාරයෙන් ආලේපනය කරනු ලබයි. මෙම ආලේපනය මගින් පුරාවස්තුවේ අධික දිලිසීමක් සිදු නොවන ආකාරයට කිරීමට වග බලා ගත යුතු වේ. තඹ පුරාවස්තුවලට සිදු කරනු ලබන නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදය වනුයේ සිලිකා ජෙල් තැන්පත් කරනු ලැබූ අල්මාරි මත ගබඩා කිරීම වේ.

රත‍්‍රන්

රත‍්‍රන් යනු ලෝහමය පුරාවස්තු අතරින් දිරායාම අවම පුරාවස්තුන් වේ. මෙය පොළව මත දිගු කාලයක් තිස්සේ තැන්පත්ව තිබුණත් සියලූම වර්ගයේ විඛාදන තත්වයන්ට ඔරොත්තු දෙන ලෝහයක් ලෙස සැලකේ. මේ නිසා කෞතුකාගාරය තුළ දී රත‍්‍රන් සංරක්ෂණය සඳහා විධික‍්‍රම රාශියක් අවශ්‍ය නොවේ. සීගිරිය කෞතුකාගාරය තුළ දී රත‍්‍රන් ලෝහමය පුරාවස්තු සංරක්ෂණය සඳහා යොදා ගනු ලබන්නේ සරළ විධික‍්‍රම කිහිපයකි. එහි දී යාන්ත‍්‍රික රසායන ක‍්‍රමයේ දී රත‍්‍රන් ලෝහමය පුරාවස්තුව මුලින්ම ආශ‍්‍රැත ජලයෙන් පිරිසිදු කරනු ලබයි. මෙහි දී ඇල්කොහොල් භාවිත කර පිරිසිදු කිරීම ද සිදු කරනු ලබයි. මෙමගින් සිදු කරනු ලබන්නේ එම පුරාවස්තුවේ තිබෙන අපද්‍රව්‍යය ඉවත් කර සෝදා හැරීම වේ. මෙහි දී නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදයන් ද භාවිත කරනු ලබයි. ෙමය මෘදු ලෝහයක් වන බැවින් පරිහරණයේ දී හා ඇසිරීමේ දී ඉතා ආරක්ෂාකාරීව සිදු කරනු ලබයි. මේවා ඇසිරීමේ දී ටිෂූ කඩදාසිවල ඔතා තැන්පත් කරනු ලබයි. මේවා තැන්පත් කරනු ලබන්නේ වෙනත් ලෝහමය පුරාවස්තු සමග ඈත් කර වේ.

රිදී

ලෝහමය පුරාවස්තු අතර රිදීමය ලෝහයෙන් නිර්මිත පුරාවස්තු සීගිරිය කෞතුකාගාරය තුළ ද වේ. එම පුරාවස්තු සංරක්ෂණයේ දී විවිධ විධික‍්‍රම භාවිත කරනු ලැබේ. මෙහි දී සිදුකරනු ලබන යාන්ත‍්‍රික සංරක්ෂණ ක‍්‍රමයේ දී පුරාවස්තු පිරිසිදු කිරීම සිදුකරනු ලබයි. රිදී පුරාවස්තු පිරිසිදු කරනු ලබන්නේ ඩිටර්ජන් මිශ‍්‍ර ජලයෙනි. එසේ පිරිසිදු කළ පමණින් තද පැල්ලම් ඉවත් නොවන්නේනම් 1% පමණ පෝමික් ඇසිඞ් භාවිත කර පිරිසිදු කිරීම කරනු ලබයි. මෙම රසායනිකය යොදා පිරිසිදු කළත් එය ඉවත් වන තුරු ආශ‍්‍රැත ජලයෙන් සෝදනු ලබයි. ඉන් අනතුරුව සිලිකා ජෙල් මත පුරාවස්තුව තැන්පත් කර වියළීම සිදු කරනු ලබයි. රිදී පුරාවස්තුවලට මතුපිට ආලේපන යෙදීමක් සිදු නොකරයි. මන්ද එවිට පුරාවස්තුවට සාපේක්ෂව මතුපිට ආලේපනය මැනවින් දිස්වීමට පටන් ගන්නා බැවිනි. මෙහි දී රිිදී පුරාවස්තු සංරක්ෂණය සඳහා යොදා ගනු ලබන නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදයන් ද වේ. එනම් උෂ්ණත්වයල ආලෝකය හා ආර්ද්‍රතාව පාලනය කරමින් ඇසුරුම් කිරීමයි. මෙහි දී රිදී භාණ්ඩ ටිෂූ කඩදාසි මත ඔතා මෙට්ට යෙදු අල්මාරියක් මත තැන්පත් කරනු ලබයි.

ශිලා පුරාවස්තු සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තූන් අතර ශිලා මාධ්‍යයෙන් නිර්මිත පුරාවස්තු බොහොමයක් වේ. එම පුරාවස්තු සඳහා යොදාගත් ශිලා අතර කිරිගරුඬ, කළුගල්, ඩොලමයිට්ල හුණුගල් වේ. මේ අතරින් බොහොමයක්ම ඇත්තේ කිරිගරුඬ වලින් නිර්මිත පුරාවස්තූන්ය. මේ එක් එක් මාධ්‍යයන්ට අයත් පුරාවස්තු සංරක්ෂණ විධික‍්‍රම ද විවිධ වේ.

කළුගල්

කළුගල්වලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය කිරීම පියවර කිහිපයකින් යුක්තය. මේවා පිරිසිදු කිරීමේ දී සාමාන්‍ය වශයෙන් භාවිත කරනුයේ ආශ‍්‍රැත ජලයයි. නමුත් විශාල පිළිමවලට ආශ‍්‍රැත ජලය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වන බැවින් සාමාන්‍ය ජලයෙන් සෝදනු ලබයි. ආශ‍්‍රැත ජලය භාවිත කර පිරිසිදු කිරීමේ දී කෙදි සහිත බුරුසුවක් භාවිත කර අපද්‍රව්‍යය ඉවත් කිරීම සිදු කෙරේ. මෙහි දී තදින් බැදී ඇති දියසෙවල, ලයිකන ඉවත් කිරීම සඳහා පල්ප් එකක් දමනු ලබයි. පල්ප් එකක් දැමීමේ අරමුණ වන්නේ නිර්වායු තත්වයක් ඇති කිරීමයි. මෙහි දී බොහෝ දුරට යොදා ගනු ලබන්නේ ඇමෝනියා මිශ‍්‍ර පල්ප් එකකි. මේ පල්ප් එක සාදා ගනු ලබන්නේ ටිෂු කඩදාසි කුඩා කුඩා කැබලිවලට කඩා ඇමෝනියා ද්‍රාවණය 8% ප‍්‍රමාණය සාදාගෙන එයට පත්තර පොඟවනු ලබයි. මෙසේ සදාගත් පල්ප් එක පිළිමයේ තවරනු ලබයි. මේ ආකාරයට යොදනු ලැබු පල්ප් එක පැය 12ක් පමණ වේලාවක් තබා සාමාන්‍ය ජලය තැනින් තැන ස්පේ‍්‍ර කර පැය කිහිපයක් තබනු ලබයි. යෙදු පල්ප් එක පිළිමයට හොදින් සවි වී ඇත්නම් ආශ‍්‍රැත ජලයෙන් සෝදනු ලැබේ. ආශ‍්‍රැත ජලය වැඩි වශයෙන් අවශ්‍ය වන විටෙක සාමාන්‍ය ජලය යොදාගෙන සේදීම සිදු කරනු ලබයි. පිළිමයේ මඩ පැල්ලම් තදින් පවතීනම් ඩිටර්ජන් භාවිත කරනු ලැබේ. ඉවත් කිරීමට අපහසු තද මඩ පැල්ලම් ඇති විටෙක හයිඩ‍්‍රජන් පැරොක්සයිඞ් භාවිත කරනු ලබයි. මෙය භාවිත කිරීමේ දී ඉතා පරිස්සමින් හා ආරක්ෂාකාරීව සිදු කළ යුතුය. මන්ද යොදාගනු ලබන හයිඩ‍්‍රජන් පැරොක්සයිඞ් මඩ මත ක‍්‍රියාත්මක වේ. මෙමගින් පිළිමයේ ඇතුළත ඇති මඩ ජලයත් සමගම පිටතට පිට කිරීමට උත්සහ දරන නිසා පුරාවස්තුවේ සිදුරු නිර්මාණය විය හැකිය.

සංරක්ෂණය කිරීමේ දී අඩු කොටස් පිරවීම හෝ කැඞී ගිය කොටස් එකට එකතු කිරීම සිදු කරනු ලබයි. මෙහි දී මල නොබැදෙන වානේ හෝ සුදු යකඩ කම්බි භාවිත කර ඇරලොයිඞ් ගම් යොදාගෙන කොටස් එකට එකතු කරනු ලබයි. අඩු කොටස් පිරවීම සඳහා කොලපු මිශ‍්‍රණය සාදා ගැනීමේ දී පැරලොයිඞ් 50% හා හුණු කුඩු භාවිත කර මිශ‍්‍රණයක් සාදා ගනු ලබයි. මේවාට හුණු දියර ද යොදා ගනී. මේ ආකාරයට කළු ගලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය සඳහා සංරක්ෂණ විධික‍්‍රම සීගිරිය කෞතුකාගාරය තුළ භාවිත කරනු ලබයි.

හුණුගල්

පාෂාණවලින් නිර්මිත පුරාවස්තු අතර හුණුගල්වලින් නිර්මිත පුරාවස්තු බොහොමයක් සීගිරිය කෞතුකාගාරය තුළ වේ. මෙම පුරාවස්තු අතර වැඩි වශයෙන් ඇත්තේ පිළිම වේ. මේ හුණුගලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය කිරීමේ දී පළමු පියවර වන්නේ පිරිසිදු කිරීමයි. එහි දී කළුගල්වලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය සිදු කරන ආකාරයට ම පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. හුණුගල් පිළිම සංරක්ෂණය කිරීමේ දී අඩු කොටස් පිරවීම සඳහා විශේෂ ක‍්‍රමයක් අනුගමනය කරනු ලබයි. එනම් හුණුගලින් නිර්මිත පුරාවස්තුවට සමාන පාෂාණයක් තෝරාගෙන එය විවිධ ප‍්‍රමාණයන්ට කුඩු කර ගනී. ඉන් පසු එ්වා ප‍්‍රමාණයන්ට අනුව වර්ග කරගෙන මිශ‍්‍ර කර ගෙන එම මිශ‍්‍රණයට බෙලි කටු සහ හුණු ගල් කැබලි ගෙන එයට 50% පැරලොයිඞ් ඇසිටෝන් ද්‍රාවණයෙන් මිශ‍්‍රණයක් සාදා අඩු කොටස් පුරවනු ලබයි. හුණුගල් පිළිම සංරක්ෂණය කිරීමේ දී එකට සම්බන්ධ කිරීමට කලින් සිමෙන්ති භාවිත කරන ලදී. නමුදු වර්තමානයේ එ් සඳහා සිමෙන්ති භාවිත නොකර ඉහත මිශ‍්‍රණය යොදාගනු ලබයි. මෙම කෞතුකාගාරයේ පිළිම අඩු කොටස් පිරවීම සඳහා එ් මිශ‍්‍රණය යොදා ගනී. මේ ආකාරයට හුණු ගල් පිළිම සංරක්ෂණය කිරිමේ සංරක්ෂණ විධික‍්‍රම භාවිත කරනු ලබයි.

අස්ථි සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ ඇති පුරාවස්තූන් අතර මානව අස්ථි ඉතා වැදගත් වේ. මෙම අස්ථි බොහෝ ප‍්‍රමාණයක් මෙම කෞතුකාගාරයේ සංරක්ෂණ විධික‍්‍රම යටතේ සංරක්ෂණය සිදු කර ඇත. එ් අතරින් ප‍්‍රදර්ශන මැදිරියේ තැන්පත් කර ඇති සීගිරි පොතාන ප‍්‍රදේශයෙන් හමු වූ මානව ඇටසැකිල්ල වැදගත් වේ. ඊට අමතරව සංරක්ෂණ රසායනාගාරය තුළ අස්ථි 5ක් පමණ සංරක්ෂණයට බඳුන් කර තැන්පත් කර ඇත. එ් නිසාම සීගිරිය කෞතුකාගාරයේ අස්ථි සංරක්ෂණ විධික‍්‍රම යොදාගන්නේ කෙසේ ද යන්න විමසීම වැදගත් වේ.

අස්ථි සංරක්ෂණය කිරීමේ දී ද මුලික පියවරයන් කිහිපයක් අනුගමනය කරනු ලබයි. අස්ථි දිගු කාලයක් තිස්සේ පොළව මතුපිට තැන්පත්ව ඇත්තේ කැබලි බවට පත් වී වෙන් වෙන් වශයෙන් පසට එකතු වීමෙනි. මෙය මතුපිටට ගැනීම සඳහා මුලික සංරක්ෂණ ප‍්‍රථමාධාර කිහිපයක් අනුගමනය කළ යුතු වේ. අස්ථි පොළව මතුපිටට ගැනීමේ දී පෙට්ටියක් ආධාරයෙන් ගොඩට ගනු ලබයි. ලෑලි යොදා පෙට්ටියක් සකස් කරගෙන එය අස්ථිය යටට බහා පස් සමඟ ම මතුපිටට ගනු ලබයි. සංරක්ෂණයේ මුලික පියවරක් වන්නේ අස්ථි කොටස් මතුපිටට ගැනීම වන හෙයින් එය අසීරු කාර්යයක් වේ. අස්ථි මතුපිටට ගෙන සංරක්ෂණ රසායනාගාරය වෙත රැගෙන ආ පසු සංරක්ෂණයේ පළමු පියවර වන්නේ පිරිසිදු කිරීමයි. මෙම පිරිසිදු කිරීමේ දී එතිල් ඇල්කොහොල් 50% ප‍්‍රමාණයක් ආශ‍්‍රැත ජලයේ මිශ‍්‍ර කර පුළුන් දැවටු ඉරටු අනුසාරයෙන් පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. මෙහි දී අස්ථිය පස් සමගම රැගෙන ආ බැවින් වටේ තිබෙන පස් ඉවත් කර අස්ථි කොටස් පමණක් මතු කර ගැනීම සිදු කරනු ලබයි. අස්ථි පිරිසිදු කිරීමෙන් පසු 3-5% දක්වා වූ ඇසිටෝන් සහ පැරලොයිඞ් B44 භාවිත කර අස්ථි මත ආලේප කිරීම සිදු කරනු ලබයි. ඇසිටෝන්වලට අමතරව ටොලූවින් ද ආලේප ලෙස භාවිත කරනු ලබයි. තෙත් ගතියෙන් වැඩි අස්ථි සඳහා ඇසිටෝන් ද දැඩි වියළි බවක්න් යුක්ත අස්ථි සඳහා ටොලූවින් 3-5% ප‍්‍රමාණයෙන් භාවිත කරනු ලබයි. මේ ආකාරයට සංරක්ෂණ විධික‍්‍රම සීගිරිය කෞතුකාගාරයේ අස්ථි සංරක්ෂණය සඳහා භාවිත කරනු ලබයි.

ගඩොල්/උළු සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ ඇති පුරාවස්තු අතර ගඩොළින් හා උළුවලින් නිර්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ බොහොමයක් වේ. මෙම පුරාවස්තු අකාබනික මාධ්‍යයන්ගෙන් නිර්මිත පුරාවස්තු වන හෙයින් භාවිත සංරක්ෂණ විධික‍්‍රම එතරම් අසීරු නොවේ. මේ නිසාම සරළ විධික‍්‍රම කිහිපයක් සීගිරිය කෞතුකාගාරය තුළ භාවිත කරනු ලබයි. මෙහි දී පළමු පියවර වන්නේ පුරාවස්තුව පිරිසිදු කිරීමයි. එහි දී පුරාවස්තුව ආශ‍්‍රැත ජලයෙන් සෝදනු ලබයි. මේ පිරිසිදු කිරීමේ දී ගඩොළු පුරාවස්තුවේ පස් ඉහිරීම සිදුවිය හැකිය. නමුදු පෙරා ගනු ලැබු හොඳ පසකින් එය නිර්මාණය වී ඇත්නම් එසේ ඉහිරීමක් සිදු නොවේ. ගඩොළු පිරිසිදු කිරීමේ දී නළ ජලය පවා භාවිත කළ හැකිය. නමුදු සීගිරිය කෞතුකාගාරයේ එ් සඳහා යොදා ගනු ලබන්නේ ආශ‍්‍රැත ජලයයි. මන්ද යත් සීගිරිය ප‍්‍රදේශයේ නළ ජලය කිවුල් ගතියකින් යුක්ත වන බැවිනි. උළුමය පුරාවස්තු පිරිසිදු කිරීමේ දී එ්වා දුර්වල තත්වයේ පවතීනම් ආශ‍්‍රැත ජලයට 50% ඇල්කොහොල් ද්‍රාවණය මිශ‍්‍ර කර පිරිසිදු කරනු ලබයි. ඇල්කොහොල් යොදා පිරිසිදු කිරීමේ දී උළුකැටවල වර්ණ දියවීම ද අවම කර ගත හැකිය. ගඩොළු හා උළු සංරක්ෂණය කිරිමේ දී කොටස් පිරවීමක් සිදු නොකරනු ලබයි. මේ ආකාරයට පිරිසිදු කිරීමෙන් අනතුරුව නිවාරක සංරක්ෂණ ක‍්‍රමය යටතේ ගබඩා කිරිම සිදු කරනු ලබයි.

රෙදි සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ වෙනත් ද්‍රව්‍යය වලින් නිර්මිත පුරාවස්තු අතර රෙදි වලින් නිර්මිත පුරාවස්තු වැදගත් වේ. මෙම කෞතුකාගාරයේ රෙදි වලින් නිර්මිත එක් පුරාවස්තුවක් පමණක් ප‍්‍රදර්ශනයට තබා ඇත. එය හිස් පළඳනාවකි. වර්තමානය වන විට සීගිරිය කෞතුකාගාරයේ රෙදි සංරක්ෂණය කරනු ලබන්නේ වෙනත් ස්ථානයකින් සංරක්ෂණ අරමුනින්ම රැගෙන එන පුරාවස්තු වේ. මහනුවර කෞතුකාගාරයෙන් සංරක්ෂණය සඳහාම එවනු ලැබු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයට අයත් රෙදි කැබැල්ලක් මෙම කෞතුකාගාරය තුළ දී මෑතක දී සංරක්ෂණය කර ඇත. රෙදි සංරක්ෂණය සඳහා යොදා ගනු ලබන්නේ වෙනස්ම ආකාරයේ සංරක්ෂණ ක‍්‍රමවේදයකි.

සංරක්ෂණය සිදු කිරීමට ප‍්‍රථමයෙන් පැතලි මේසයක් උඩ විශාල වීදුරුවක් හෝ විනිවිද පෙනෙන පොලිතින් කවරයක් අතුරාගනු ලබයි. රෙදි යනු සියුම් මාධ්‍යයක් වන බැවින් ආරක්ෂාකාරීව හා දැඩි පරිස්සමින් සංරක්ෂණය කළ යුතු වේ. මෙහි දී මුලින්ම පිරිසිදු කරනු ලබයි. එ් සඳහා ආශ‍්‍රැත ජලය භාවිත කරනු ලබයි. ආශ‍්‍රැත ජලයට ඇල්කොහොල් 50% හා ඩිටර්ජන් යෙදීම මගින් ඉතා කුඩා දූවිලි අංශු පවා ඉවත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. මෙසේ පිරිසිදු කිරීමෙන් පසු අඩු තැන් පිරවීම සිදු කරයි. අඩු තැන් පිරවීමේ දී අම්ල රහිත පැපනිස් ටිෂු කඩදාසි භාවිත කරනු ලබයි. පැපනිස් ටිෂු කඩදාසි ඇලවීමේ දී SMC ගම් එක භාවිත කරනු ලබයි. මෙම ගම් ශාක කෙදිවලින් නිපදවාගත් ගම් එකක් වේ. මෙය ජලයේ දිය කර ගෙන භාවිත කරනු ලබයි. මෙය කුඩු වර්ගයක් ලෙස වේ. මෙය දිලීර, බැක්ටීරියාවන් ක‍්‍රියාත්මක නොවන ලෙස එ්වාට ඔරොත්තු දෙන ආකාරයට මෙම ගම් එක නිපදවා ඇත. එසේම මේ සඳහා අම්ල රහිත පැබ්රික්ග්ලූ භාවිත කළ හැකිය. මේ ආකාරයට යාන්ත‍්‍රික සංරක්ෂණ යටතේ සිදු කරනු ලබන රෙදි සංරක්ෂණය නිවාරක සංරක්ෂණය යටතේ තැන්පත් කරනු ලබයි. මෙහි දී ඇසිරුම් ක‍්‍රමයක් ලෙස අමු රෙදිවල ඔතා තබනු ලබයි.

මේ ආකාරයට සීගිරිය කෞතුකාගාරයේ විවිධ මාධ්‍ය වලින් නිර්මිත පුරාවස්තු කෞතුක වස්තු සංරක්ෂණ විධික‍්‍රම යටතේ සංරක්ෂණය සිදුවන ආකාරය හඳුනා ගත හැකිය. සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණයට බඳුන් කරනු ලබන විශේෂ පුරාවස්තු හා සංරක්ෂණයට බඳුන් කර ප‍්‍රදර්ශනය කරනු ලැබු පුරාවස්තු සම්බන්ධයෙන් මේ වන තෙක් විශේෂ අවධානයක් යොමු වී නොමැත. පුරාවිද්‍යා විෂය ක්ෂේත‍්‍රයේ දී නන් අයුරින් කතාබහට ලක්වන හා පර්යේෂණයන්ට බඳුන් වන විශේෂ පුරාවස්තු කිහිපයක්ම මෙම කෞතුකාගාරය සතු සංරක්ෂණ විධික‍්‍රම ඔස්සේ සංරක්ෂණය වී ඇත. විශේෂයෙන් පොතාන මානව අස්ථි, ඉබ්බන්කටුවේ මැටි බඳුන්, මහා ශිලා සුසාන මැටි බඳුන්, අලකොළවැව යකඩ උදුන ආදිය වේ. මේවා පිළිිබඳ නුදුරු අනාගතයේ දී ම අවධානය යොමු කිරීම වැදගත් වේ. මන්ද මෙම ප‍්‍රදේශයෙන් මතුකරගන්නා වූ විශේෂ පුරාවස්තු අනාගතයේදීත් මේ ආකාරයටම විධිමත් සංරක්ෂණ ක‍්‍රමවේදයන් හරහා සංරක්ෂණයට බඳුන් කර මහජන ප‍්‍රදර්ශනය සඳහා යොමු කිරීමට මෙම කෞතුකාගාරයට හැකි වනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙම කෞතුකාගාරය සතු සංරක්ෂණ විධික‍්‍රම පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් පර්යේෂණ දියත් කිරීමයි. මෙහි දී අධ්‍යයනයට ලක් කෙරුණේ සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තු පුරාවස්තු සංරක්ෂණ විධික‍්‍රම යටතේ සංරක්ෂණය වන ආකාරය පිිළිබඳවයි. එමගින් දැනට පවතින්නා වූ දුර්වලතාවන් ද හඳුනා ගැනීමට හැකි විය. සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තු අළලා විශේෂ පර්යේෂණ අනාගතයේදීත් දියත් වීම ඉතා වැදගත් වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි ලේඛන නාමාවලිය

දිසානායක, ජී.ආර්. (2006), ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය, එස්. ඇන්ඞ් එස්. ප‍්‍රින්ටර්ස්, කොළඹ.
දිසානායක, ජී.ආර්. (1999), ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර හා සන්නිවේදනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
බිනරගම, දයානන්ද (2005), සීගිරි පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තු, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
සිල්වා, පී.එච්.ඩී.එච්. (1996), කෞතුකාගාර විද්‍යා මූලධර්ම, මහේන්ද්‍ර සේනානයක, දෙහිවල.
ලක්දුසිංහ, සිරිිනිමල් (2004), කෞතුක වස්තු සංරක්ෂණ මූලධර්ම, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව.
ශ‍්‍රී සුමංගල හිමි හා  බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා  (1996), මහාවංශය (සිංහල) එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
හේරත්, යමුනා හා රංජිත් හේවගේ (2005), ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර පෞරාණික භාණ්ඩ එකතූන් හා ප‍්‍රදර්ශන භාණ්ඩ නාමාවලිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

Chris, Caple (2011), Preventive Conservation in Museums, Routledge, Ahingdon.

Elston (1990), Technical and aesthetic consideration in the conservation of ancient ceramic and terracotta objects in the J.Paul Getty Museum

සඟරා
අබේසේකර, චන්දිම හා දර්ශනී මධුරප්පෙරුම (2005) ආරක්ෂක ක‍්‍රියාවලිය හා කෞතුකාගාර, කෞතුකාගාර 10,
කස්තුරිආරච්චි, අනූෂා හා ආර්.වී.එස්. අබේරත්න (2005), කෞතුකාගාර වෘත්තිය හා සංරක්ෂණ අභියෝග, කෞතුකාගාර 10,
ගම්ලත්, ඩී.පී. හා ලාල් දිසානායක (2005), කෞතුකාගාර ප‍්‍රදර්ශනය සහ භාරකරුවෙකුගේ මූලික කාර්යභාරය, කෞතුකාගාර 10,
පෙරේරා, නයනා හා කේ.ඞී.වී. චන්දිමාල් (2005), කෞතුක වස්තු ප‍්‍රලේඛනය, කෞතුකාගාර 10,
බණ්ඩාර, ආර්.එ්.ඩබ්.ආර්. (1999), කෞතුකාගාර සංකල්පයේ ආරම්භක පසුබිම හා කාර්යභාරය, වැළිපිළ 3,
රණවීර, මහින්ද (2000), ජාතික අධ්‍යාපන වැඩසටහනෙහිලා කෞතුකාගාරයෙන් ඉටු විය යුතු වැඩ කොටස, කොළඹ කෞතුකාගාරය 1877-1977 අනුස්මරණ කලාපය,
රුබේරු, රංජිත් (2000), ගතානුගතික තත්වයේ සිට කාර්මික සමාජයක් කරා ශීඝ‍්‍ර ලෙස වර්ධනය වන රටවල සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික හා තාක්ෂණික සංවර්ධනය සම්බන්ධයෙන් කෞතුකාගාරය සතු කාර්යභාරය, කොළඹ කෞතුකාගාරය, 1877-1977 අනුස්මරණ කලාපය,
වීරසිංහ, එච්. (2000), ශ‍්‍රී ලංකාවේ ජාතික ජීවිතය විෂයෙහි කෞතුකාගාරයේ කාර්යය, කොළඹ කෞතුකාගාරය, 1877-1977 අනුස්මරණ කලාපය,
හේවගේ, රංජිත් (2003), කෞතුකාගාර විද්‍යාව හා ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර, කෞතුකාගාර 9 කලාපය
හේවගේ, රංජිත් (2005), කෞතුක වස්තු එකතුව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල, කෞතුකාගාර 11 කලාපය
හේවගේ, රංජිත් හා යූ.පී. චන්ද්‍රලතා (2005), ආපදා කළමනාකරණය සහ කෞතුකාගාර, කෞතුකාගාර 10 කලාපය

ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශ්වවිද්‍යාලයීය දායකත්වය

ඩී.එම්. දුමින්ද ලක්සිරි කුමාර

පර්යේෂණ නිළධාරී (පුහුණුවන) අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.
laksirimax007@gmail.com 
duminda-laksiri-kumara
දුමින්ද ලක්සිරි කුමාර

ග‍්‍රීක භාෂාවේ Archaios නම් වචනයෙන් පැරණි යන අර්ථය ද Logos නම් වචනයෙන් විද්‍යාව යන අර්ථය ද ගම්‍ය වන අතර මෙම වචන ලතින් භාෂාව ඔස්සේ ඉංග‍්‍රීසි භාෂාවට පැමිණ Archaeology නම් වචනය නිර්මාණය වී ඇත (ලගමුව 2000:15). ද්‍රව්‍යාත්මක අවශේෂ මඟින් අතීතය වර්තමානය තුළ ප‍්‍රතිනිර්මාණය කරමින් අනාගතය වෙත දායාද කිරීම මේ අනුව පුරාවිද්‍යාව තුළින් සිදු වේ (කුමාර 2014:8).

ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු ආරම්භ වුයේ ක‍්‍රිස්තු වර්ෂ 1871 දී ශ‍්‍රීමත් හර්කි්‍යුලිස් රොබින්සන් (Sir Hercules Robinson) ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේ දී ලෝටන් නම් තැනැත්තා (Lowton) අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ප‍්‍රධාන ස්මාරකවල ඡායාරූපගත කිරීමෙනි (බස්නායක සහ හෙට්ටිගේ 1992:88). මේ අයුරින් ආරම්භ වු මෙරට පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු විධිමත් ලෙස සිදු කිරීම සඳහා 1890 දී පුරාවිද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව (Department of Archaeological Survey) පිහිටුවනු ලැබීය (එම 89). පුරාවිද්‍යා කටයුතු සිදු කිරීමේ දී ක‍්‍රමයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විෂයාත්මක කරුණු ඉගැන්වීම විශ්වවිද්‍යාල තුළින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව පුරාවිද්‍යාව විෂයයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ආරම්භ වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1951 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි (සාකච්ඡාව 9). වර්තමානය වන විට මෙරට විශ්වවිද්‍යාල අටක ප‍්‍රධාන විෂයක් බවට පුරාවිද්‍යාව පත් ව ඇත. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සඳහා විශ්වවිද්‍යාලවල කාර්යය භාරය, දායකත්වය මෙහි දී අධ්‍යයනයට භාජනය ෙකරිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයය මුලින් හඳුන්වා දෙනු ලැබුවේ ඉතිහාසය විෂයයට සහයක විෂයක් වශයෙනි (සාකච්ඡාව 9). 1951 පසු ෙසනරත්  පරණවිතාන මහතා පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතු වීම පුරාවිද්‍යා විෂයට එතෙක් විශ්වවිද්‍යාලයේ පැවති තත්වය වර්ධනය කිරීමට සමත් විය. 1960 පමණ වන විට පුරාවිද්‍යා විෂයය වෙනුවෙන් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සිදු වු අතර එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු කෞතුකාගාරය වු අතර පසුව මෙම කෞතුකාගාරය මහාචාර්ය සෙනරත් පරණවිතාන කෞතුකාගාරය ලෙස නම් කරන ලදී (එම). පරණවිතාන මහතාගෙන් පසුව පර්යේෂණ ආචාර්යවරයෙකු ලෙස එකතු වන පී. එල්. පේ‍්‍රමතිලක පුරාවිද්‍යා විෂයය විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කිරීමට විශාල සේවයක් කළ අයෙකි. ඒ අනුව පුරාවිද්‍යා විෂය 1976 දී වෙන ම අධ්‍යයනාංශයක් යටතේ මෙහෙයවන විෂය ධාරාවක් විය. පුරාවිද්‍යා විෂයය වෙන ම අධ්‍යයන අංශයක් යටතට පත් කිරීම, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පුරාවිද්‍යා (විශේෂ) උපාධිය ලබා දීම මෙකල ආරම්භ කළේය (එම).

අධ්‍යයනාංශය ආරම්භයේ සිට ම පුරාවිද්‍යා විෂයය හදාරනු ලබන පිරිස් සඳහා න්‍යායාත්මක දැනුම මෙන් ම ප‍්‍රායෝගික දැනුම ලබා දීම සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අධ්‍යයනාංශය කටයුතු කළේය. ඒ අනුව සංස්කෘතික ත‍්‍රිකෝණය පොළොන්නරු ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එහි කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය එම ආයතනය විසින් දායක කර ගන්නා ලදී (සාකච්ඡාව 9). මෙය පුරාවිද්‍යා සමීක්‍ෂණ කාර්යයන් පිළිබඳව ද ප‍්‍රායෝගික දැනුම වර්ධනය කර ගැනීමට විද්‍යාර්ථින්ට ඉතා හොද අවස්ථාවක් විය (එම). සංස්කෘතික ත‍්‍රිකෝණයට අයත් මහනුවර වැඩබිමේ කටයුතු සඳහා මෙම අධ්‍යයනාංශය සම්බන්ධ කර ගැනීම 1884 සිදු විය. ලෝක උරුම නගරයක් වු මහනුවර නගරය හා අවට ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානවල සියලූම පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදු වු අතර අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා සක‍්‍රීයව දායක කර ගැනීම සිදු විය (එම). 1997 දී යාපහුවට නුදුරු පිංවැව ගල්සොහොන් කනත්ත පුරාවිද්‍යා ව්‍යාපෘතියට සම්බන්ධ වීමේ භාග්‍යය ද ඔවුන්ට ලැබුණි. (සාකච්ඡා 12). මෙම පර්යේෂණය මඟින් මහා ශිලා සුසාන සංස්කෘතිය පිළිබඳ ව තොරතුරු රාශියක් හමු විය. මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිට වූ මුල් කාලයේ දී ජේතවන ව්‍යාපෘතිය කොළඹ විශ්වවිද්‍යාලයට ලබා දුන්න ද 2000 වර්ෂයේ සිට ජේතවන ව්‍යාපෘතියට සම්බන්ධවීමේ අවස්ථාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයට හිමි විය (එම). පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් ආරම්භ කළ අනුරාධපුර ඇතුළුනුවර ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කිිරීමට ද අධ්‍යයනාංශයට හැකියාව ලැබීම වැදගත්ය (එම). පූර්ව ඓතිහාසික යුගය පිළිබඳවත්, අනුරාධපුර යුගය පිළිබඳවත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අත්පත් කර ගැනීමට සමත් වු ව්‍යාපෘතියක් වශයෙන් වෙස්සගිරිය ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය. 2006 -2009 වර්ෂ තුළ දී ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා අධ්‍යයනාංශයක් ලෙස සම්බන්ධවීමේ හැකියාව මෙම විශ්වවිද්‍යාලයට හිමි විය (එම). මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහෙය වු මෙම ව්‍යාපෘතිය සඳහා මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය පියතිස්ස සේනානායක වැනි පිරිස් සහභාගි විය (එම).

මෙහි ක‍්‍රියාත්මක පුරාවිද්‍යා සංගමය විසින් විකල්ප පුරා තත්ත්ව යන සඟරාව නිර්මාණය කිරිම අද දක්වා ම සිදුවෙයි (කුමාර 2014:13). විද්‍යාර්ථයන්ගේ ප‍්‍රකාශනයන් එළිදැක්වීම මෙහි අරමුණයි. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දැනට සිටින පිරිස්ගෙන් බොහෝ ප‍්‍රමාණයක් මෙම අධ්‍යයනාංශයෙන් බිහි වු පිරිස් ය. ගාල්ල සමුද්‍රික පුරාවිද්‍යා ඒකකයේ රසික මුතුකුමාරණ, මහින්ද කරුණාරත්ත, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරිය ලගමුව මේ අතුරින් කිහිප දෙනෙකි (සාකච්ඡා 9).

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යයන අංශයක් ලෙස පුරාවිද්‍යා අධ්‍යයන අංශය ආරම්භ වන්නේ 1973 වර්ෂයේදී ය. 1973 දී ඉතිහාස අධ්‍යයන අංශයේ උප අංශයන් වශයෙන් ආරම්භ වන මෙම අධ්‍යයන අංශය 1977 දී වෙන ම අධ්‍යයන අංශයක් බවට පත් වෙයි. මහාචාර්ය අබය ආරියසිංහ, මහාචාර්ය එච්.ටී. බස්නායක, මහාචාර්ය සේනක බණ්ඩාරනායක මෙහි මුල් අංශාධිපතිවරු වුහ (සාකච්ඡාව 1). කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය තුළ අධ්‍යාපනය ලැබූ බොහෝ පිරිසක් වර්තමානයේ දී සියලූ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් කටයුතු කරනු ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අදිකාරි, කෞතුකාගාර අධිකාරි රංජිත් හේවගේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය තුළ අධ්‍යාපනය ලැබූ පිරිස්ය (සාකච්ඡාව 2). පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන මහාචාර්ය රාජ සෝමදේව, ආචාර්ය රෝස් සෝලංගආරච්චි වැනි පිරිස් ද රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති වත්මන් පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන විතානාචිචි ද විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය තුළ අධ්‍යාපනය ලැබූ පිරිසකි. පුරාවිද්‍යා උපදේශක සභාවේ, පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ බොහෝ සාමාජික පිරිස්, මහාචාර්ය අනුර මනතුංග, මහාචාර්ය මාලිංග අමරසිංහ, මහාචාර්ය උදා හෙට්ටිගේ වැනි පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ යාවජීව සාමාජිකයින්, පේරාදෙණිය, රජරට, රුහුණ, ශ‍්‍රී ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාල තුළ පුරාවිද්‍යා අධ්‍යයන අංශයන්වල ආචාර්ය මණ්ඩලයේ ඇතැම් ආචාර්යවරුන් මෙම අධ්‍යයනාංශයේ අධ්‍යාපනය ලැබු පිරිස්ය (එම).

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය 1886 දී ප‍්‍රථම පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සඳහා අවතීර්ණ විය. 1986 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ස්වීඩනයේ පුරාවිද්‍යා කමිටුවක් හා එක්ව දියත් කරන ලද SIDA-SAREC ව්‍යාපෘතිය හා සම්බන්ධ වන්නට අධ්‍යයනාංශයේ ශිෂ්‍ය විද්‍යාර්ථීන් හට අවස්ථාව හිමි විය. 1886 – 1993 දක්වා කාලය තුළ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක විය. සීගිරිය – දඹුල්ල ආශ‍්‍රිතව අලකොළවැව, සීගිරි නැගෙනහිර දොරටුව, අලිගල, පොතාන, ඉබ්බන්කටුව, මාපාගල, පිදුරංගල, සිංහපාදය, ආදී ස්ථාන ආශ‍්‍රිතව කැනීම් සිදු විය (සාකච්ඡාව 1). මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගවේෂණ කටයුතු ද මේ ව්‍යාපෘතිය හරහා සිදු විය. ව්‍යාපෘතියට එකල සිසුන් ලෙස සම්බන්ධ වූ තරුණ පිරිසෙන් කිහිප දෙනෙකුගේම අනාගත විෂයය දිශානතිය තීරණය කිරීමට මේ ව්‍යාපෘතිය ඉවහල් විය. මහාචාර්ය රාජ් සෝමදේවයන් ජනාවාස පුරාවිද්‍යාව වෙත යොමු වන්නේ ද, මහාචාර්ය ගාමිණි අදිකාරි – ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් කෙරෙහි යොමු වන්නේ ද, පුරාණ යකඩ තාක්‍ෂණය කෙරෙහි ආචාර්ය රෝස් සෝලංගාරච්චි යොමු වන්නේ ද SIDA-SAREC ව්‍යාපෘතියේ ධනාත්මක බලපෑම හේතුවෙනි (කුමාර 2014:13).

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මඟින් ක‍්‍රියාත්මක කළ තවත් ව්‍යාපෘතියක් ලෙස KAVA ව්‍යාපෘතිය පෙන්වා දිය හැකිය (සාකච්ඡුාව 2). 1889 – 1991 කාල වකවානුව තුළ ක‍්‍රියාත්මක වු මෙය දඹුල්ල, පිදුරංලගල, ඉබ්බන්කටුව යන ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක විය. ජර්මන් පුරාවිද්‍යාඥයින් පිරිසක් මෙහි අධීක්‍ෂණය සඳහා පැමිණි අතර මහාචාර්ය අනුර මනතුංග මෙහි සම අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෙම ස්ථානවල ප‍්‍රාග් ඓතිහාසික වැදගත්කම අනාවරණය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය හරහා අවස්ථා ව උදා විය (එම). 1999 – 2001 කාලවකවානුවේ දී ඉහල මල්වතු ඔය ගවේෂණය සිදු කළ අතර එහි දී මෙම කලාපය තුළ වැදගත් පුරාවිද්‍යා ස්ථාන වාර්තා කිරීමක් සිදු වු අතර මේ සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහය ලබා ගැනීමට හැකි විය. 2003 – 2006 වර්ෂයන්හි දී ‘කැළණි නිම්න ගවේෂණ’ ව්‍යාපෘතිය තුළින් කැළණි ගංගා නිම්නයේ ජනාවාසකරණය හඳුනා ගැනීම හා එහි පුරාවිද්‍යා ස්ථාන වාර්තා කිරීම සිදු විය. මීට අමතර ව 1997 සිට මේ දක්වා සිගිරි ව්‍යාපෘතියට විද්‍යාර්ථින් සම්බන්ධ කිරීම අධ්‍යයනාංශය මඟින් සිදු කරන ලදී (සාකච්ඡාව 1).

අධ්‍යයනාංශය මගින් Archaeologia සඟරා කෘති 3 ක්, Archaeologia Zeylanica සඟරා කෘති 3 ක් ප‍්‍රකාශයට පත් කර ඇත. වසුන්දරා නම් ශිෂ්‍ය සඟරා කෘති 13 ක් ප‍්‍රකාශයට පත් කිරීම තුළින් ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දී ඇත (කුමාර 2014:13). ඊට අමතරව පුරාණ නම් කෘතියක් ද ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෝ නම් කෘතියක්ද අධ්‍යයන අංශය මඟින් ප‍්‍රකාශයට පත් කරන ලදී (සාකච්ඡාව 1). අධ්‍යයන අංශය මඟින් 1988 දී පුරාවිද්‍යා ශත සහස‍්‍රය වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක් පැවැත් වු අතර 2007 වර්ෂයේ දී විශ්වවිද්‍යාලයේ 50 වන සංවත්සරය වෙනුවෙන් පුරාවිද්‍යා සමුළුවක් පැවැත්වීය. එමෙන්ම 2014 වසරේ දී ප‍්‍රථම පුරාවිද්‍යා විද්‍යාර්ථයින්ගේ සම්මන්ත‍්‍රනය පැවැත්වීමේ ගෞරවය ද මෙම අධ්‍යයන අංශයට හිමි වේ. මීට අමතරව සෑම වසර 2කට වරක් පුරාවිද්‍යා සම්මන්ත‍්‍රණ පැවැත්වීම ද සිදු කිරීම කැපීපෙනෙයි (සාකච්ඡාව 2).

urca-2014_university-of-kelaniya
කැලණිය විශ්වවිද්‍යාලෙය් ශිෂ්‍ය සම්ෙම්ලනෙය් අවස්ථාවක්

 ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨය තුළ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය 1958 දී ස්ථාපිතව ඇත (සාකච්ඡාව 10). මෙය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්ම ඉතිහාස හා පුරාවිද්‍යා උපාධි ප‍්‍රදානය කළ අධ්‍යයනාංශයයි (එම). මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි, මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ, මහාචාර්ය මැන්දිස් රෝහණධීර, මහාචාර්ය ඞී.ඇල්. අබේවර්ධනය, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය ටී.ජී. කුලතුංග ආදී විද්වතුන් මෑත ඉතිහාසයේ ද, මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සහ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව වැනි විද්වතුන් වර්තමානයේ ද මෙම අධ්‍යයනාංශයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයයන් නගා සිටු වීමෙහි පුරෝගාමීන් විය (කුමාර 2014:13). ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ පළමු වතාවට පුරාවිද්‍යා විෂයය මූලික උපාධිය සඳහා හඳුන්වා දෙනු ලැබුවේ මෙම විශ්වවිද්‍යාලයයි (සාකච්ඡා 10). විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙස හැඳින් වූ කාලයේ සිට ම මෙම විෂයය මෙහි පැවති අතර පුරාවිද්‍යා විෂයය ප‍්‍රථම උපාධිය සඳහා හඳුන්වා දීමේ දී මෙම විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපතිවරයා වූ වැලිවිටියේ සෝරත නාහිමියන් විශාල මෙහෙවරක් සිදු කර ඇත. වැලිවිටියේ සෝරත හිමියන්ගෙන් පසුව වසර කිහිපයක් මෙම අධ්‍යයනාංශයේ කටයුතු අඩාලව තිබූ අතර 1982 වර්ෂයේ දී එය නැවත ස්ථාපිත කරන්නට විය (එම).

මෙම අධ්‍යයනාංශයේ ඉතිහාස හා පුරාවිද්‍යා ශිෂ්‍ය සංගමය විදාරණී නම් අධ්‍යයන සඟරාව එළිදක්වන අතර පුරාවිද්‍යා විෂයය සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් විවිධ පාසල් හා ප‍්‍රදේශ ආශි‍්‍රතව පැවැත්වීම සිදු කරනු ලබයි (කුමාර 2014:13). හිටපු කෞතුකාගාර අධක්‍ෂවරයෙකු වු සිරිනිමල් ලක්දුසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම බෝගහවත්ත, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි චිත‍්‍රානන්ද, රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මෙම විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වු පිරිස්ගෙන් කිහිප දෙනෙකි (සාකච්ඡාව 10). සංස්කෘතික ත‍්‍රිකෝණයට අයත් අභයගිරි ව්‍යාපෘතිය සඳහා මෙම අධ්‍යයනාංශය 1981 වසරේ සිට සිසුන් සම්බන්ධ කරයි. 1981 – 1987 වර්ෂවල දී අභයගිරි ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ ද 1987 – 1992 වර්ෂයන්හි දී මහාචාර්ය එස්. බී හෙට්ටිආරච්චි ද 1992 සිට මේ දක්වා ටී. ජි කුලතුංගයන් ද මෙහි අධ්‍යක්‍ෂවරුන් වේ. අභයගිරි ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂකවරයා සැමවිටම එහි ආචාර්යවරයෙකු වීම තුළින් එහි වැඩි වාසි නෙලා ගැනීමට අධ්‍යයනාංශයට හැකියාව ලැබුණි. මෙම ව්‍යාපෘතියේ සිදු කරන ලද සියලූම පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සඳහා මෙම අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් නිරන්තර සම්බන්ධවීම ආරම්භයේ සිට මේ දක්වා ම නොකඩවා සිදුවන කාර්යයකි (කුමාර 2014:8). වර්තමානය වන විට රජගල පරිශ‍්‍රයෙහි පුරාවිද්‍යා කටයුතු දියත් කිරීමේ පූර්ණ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය වෙත පවරා තිබේ. අධ්‍යයනාංශය 2000-2001 වර්ෂවලදී සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහය ඇතිව ස්මාරක ස්ථාන හඳුනා ගැනීම හා වාර්තා කිරීම සිදු කරනු ලැබීය (සාකච්ඡාව 11).

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය විශ්වවිද්‍යාලය ආරම්භ වු මුල් වකවානුවේදී ද ආරම්භ වු අධ්‍යයන අංශයකි. අධ්‍යයන අංශය ආරම්භයේ දී ඉතිහාස විෂයය සඳහා පමණක් උපාධිය පිරි නැමූ අතර 2001 වර්ෂයේ සිට පුරාවිද්‍යා (සාමාන්‍ය/විශේෂ) උපාධිය ද ලබා දීමට කටයුතු කර ඇත (සාකච්ඡාව 5). මහාචාර්ය එම්.යූ. ද සිල්වා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියසේන සෙන්දනායක වැනි පිරිස් මෙහි අංශාධිපතිවරුන් ලෙස කටයුතු කළ අතර ආචාර්ය එම්.වී. චන්ද්‍රසිරි වර්තමාන අංශාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි (එම). අධ්‍යයනාංශයේ මහාචාර්ය සුමනසිරි වාව්වගේ විසින් තන්තිරිමලය සියඹලාගස්වැව ආශි‍්‍රතව මෙගලිතික සුසාන පිළිබඳ පුළුල් පර්යේෂණයක් 2009 – 2010 වර්ෂයේ දී සිදු කරන ලදී (සාකච්ඡුාව 5). මෙම පර්යේෂණය සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවගේ පුර්ණ සහය ලබා ගැනීමට හැකි විය. අධ්‍යයනාංශයේ පුරාවිද්‍යා විශේෂ උපාධිය හැදෑරූ සිසුන් කිහිප දෙනෙකු මෙම පර්යේෂණයට සම්බන්ධ වු අතර මෙම ස්ථානය ආශ‍්‍රිතව ගවේෂණ හා කැනීම් කටයුතු සිදු විය (කුමාර 2014:13). ඊට අමතර ව, 2008 වර්ෂයේ අවුකන විහාරය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගවේෂණය (2008),  රැස්ෙවෙහර පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර ගවේෂණය (2010), බුදුගල පුරාවිද්‍යා ගවේෂණය (2011), කහඹිලියාව විහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය ගවේෂණය (2012) හා අම්පාර පබ්බතගල ගවේෂණය (2013) යන ව්‍යාපෘති සංවිධානය කිරීමට අධ්‍යයනාංශයට හැකි විය (සාකච්ඡාව 5). 2013 වර්ෂයේ දී මහාචාර්ය රාජ් ෙසා්මෙද්ව ඇතුලූ පිරිස සංවිධානය කළ රංචාමඩම කැනීම සඳහා ද අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් සම්බන්ධ කිරීමට අධ්‍යයනාංශයට හැකි විය (එම).

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ 1996 දී වුව ද සමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨයේ අධ්‍යයන අංශයක් වන පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, සෙසු විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා අධ්‍යයනාංශ අතර ළාබාලතම සාමාජිකයා වෙමින් ඇරඹෙන්නේ 2011 දීය (කුමාර 2014:13). මෙහි වර්තමාන අංශාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත මැන්දිස්ය. දැනට ‘පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ’ යනුවෙන් විශේෂ උපාධිය පිරිනමනු ලබන එකම අධ්‍යයනාංශය ද මෙයයි (සාකච්ඡාව 3). මෑතක දී ආරම්භ වු මෙම අධ්‍යයනාංශය කෙටි කාල පරිච්ෙඡ්දයක් තුළ, එනම් 2013.12.18 දින මෙතෙක් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයක් මගින් සංවිධානය කරන ලද ‘ප‍්‍රථම ජාතික පුරාවිද්‍යා සමුළුව’ පැවැත්වීය (කුමාර 2014:13). එකී සමුළුව ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට නව අරුතක් එක් කළා සේම සිසුන්ට නව දැනුමින් සන්නද්ධ වීමට ඉඩ ලබා දුන් කදිම අවස්ථාවක් ද විය. ශිෂ්‍ය විද්‍යාර්ථීන් වෙනුවෙන් ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යා කැනීම් පුහුණුවක් ලබාදීම අරමුණු කර ගනිමින් විශ්වවිද්‍යාලයීය පරිශ‍්‍රය තුළ ම 2013 සැප්තැම්බර් මාසයේ දී පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් ආරම්භ කලේය. අධ්‍යයනාංශය මගින් The Journal of Archaeology & Heritage Studies යන සමාසික සඟරාවක්ද ප‍්‍රකාශයට පත් කරගෙන යමින් පවතී (එම). එමෙන් ම අධ්‍යයනාංශය ආරම්භයේ සිට වරින්වර අවස්ථා කිහිපයක දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පඩුවස්නුවර හා යාපහුව යන ව්‍යාපෘති සඳහා සිසුන් සම්බන්ධ කිරීම සිදු කරන ලදී (එම).

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයත් වන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳව ද සටහනක් තැබීම ද අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ මෙය පුරාවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරිය හැකි වෙනම ආයතනයක් වශයෙන් පවත්නා එකම ආයතනය වූ බැවිනි. 1985 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම ආයතනයෙහි ප‍්‍රථම අධ්‍යක්‍ෂකවරයා වුයේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක යි. ආරම්භයේ සිට මේ දක්වා පශ්චාත් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් 500ට වැඩි පිරිසක් පුරාවිද්‍යාව හා සම්බන්ධ ක්‍ෂේත‍්‍ර වෙනුවෙන් බිහිකර ඇත (සාකච්ඡාව 7). ආරම්භයේ දී Centre for Archaeological Research යන අදහසින් CENTARC යන කෙටි යෙදුමින් මෙම ආයතනය හැඳින් වූ අතර පසුව Postgraduate Institute of Archaeology යන අදහසින් PGIAR යන කෙටි යෙදුම භාවිත කරනු ලබයි (සාකච්ඡාව 8).

මෙම ආයතනයෙහි මෙහෙයවීම තුළින් ආරම්භ කළ සීගිරි දඹුලූ ව්‍යාපෘතිය (SIDA-SAREC) පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට ලබා දුන් ජීවය ඉහතින්  විස්තර කරන ලද අතර, මෙහි සිටින ආචාර්යවරුන් අතරින් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය හරහා ක්‍ෂේත‍්‍රයට පැමිණි අය වූහ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් කටුවන බලකොටුව සංරක්‍ෂණය හා අවට භු දර්ශන කළමනාකරණය, හම්බන්තොට කෞතුකාගාරය පිහිටුවීම, මුහුඳුබත් වූ අන්තර්ජාතික වෙළඳ නැවක් පාදක කර ගත් Avondster ව්‍යාපෘතියට සම්බන්ධ වීම හා ප‍්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හෝ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන අළලා විවිධ කැනීම් ව්‍යාපෘති දියත් කිරීම වැනි කටයුතු සිදු කිරීමත්, විවිධ ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දීමත් සිදු කර ඇත (කුමාර 2014:13). මෙම ආයතනය මගින් පශ්චාත් උපාධි හා පශ්චාත් ඩිප්ලෝමා ලබාදීම මඟින් ප‍්‍රථම උපාධිය ලබාගත් පිරිස් වෙත සිය දැනුම පුළුල් කර ගැනීමේ අවස්ථාව ලබාදීම ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ හෙට දවස යහපත් කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය. පුරාවිද්‍යාව හුදෙක් තනි විෂයයක් ලෙස නොව බහු විෂයාත්මක ශික්‍ෂණයක් ලෙසින් පෙනී සිටියි. එනිසාම අතීතයට අයත් බොහෝ දේ විවිධ විෂයය පරාසයන් ඔස්සේ අර්ථ ගන්වමින් වර්තමාන ප‍්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යාඥයා කටයුතු කරයි. මෙම කාර්ය සිදු කිරීමට අවශ්‍ය පුරාවිද්‍යාඥයා බිහි කිරීමේ මුලික අඩිතාලම විශ්වවිද්‍යාල මඟින් ආරම්භ කළ ද එය අවසානය තෙක් රැගෙන යාමේ භාරධුර කාර්යයට මෙම ආයතනය නව ජීවයක් ලබා දී ඇත (සාකච්ඡුාව 7). මෙම ආයතනයේ වර්තමාන අධ්‍යක්‍ෂවරයා වශයෙන් මහාචාර්ය ජගත් වීරසිංහ කටයුතු කරනු ලබයි. මහාචාර්ය ගාමිණි අදිකාරී, මහාචාර්ය රාජ් සෝමදේව, ආචාර්ය රෝස් සෝලංගආරච්චි, ආචාර්ය අර්ජුන තන්තිලගේ, ආචාර්ය පී. විදානපතිරන, ආචාර්ය ටී.ආර්. පේ‍්‍රමතිලක, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ඩි.පි. ගම්ලත් යන පිරිස මෙහි ආචාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලැබේ (එම).

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මේ වන විට ග‍්‍රන්ථ ගණනාවක් නිකුත් කර ඇත. එ් අතුරින් පහත දැක්ෙවන ග්‍රන්ථ උදාහරණ වශෙයන් දැක්විය හැකි ය.

  • 1990 – ජනාවාස පුරාවිද්‍යාව
  • 1991 – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය
  • 1991 – ප‍්‍රකෘතිකරණය හා සංරක්‍ෂණය
  • 1993 – Maritime Archaeology in Sri Lanka
  • 1994 – Further Studies in the Settlement Archaeology of the Sigiriya-Dambulla Region
  • 1996 – Landscape Tradition of Sri Lanka: Philosophy principles and practice
  • 2006 – Urban Origings in Southern Sri lanka
  • 2009 – Heritage Buildings of Sri Lanka
  • 2009 – Records of traditional watercraft from South and West Sri Lanka
  • 2010 – Archaeology of  the Udawalave Basin

1950- 1960 පමණ වන විට මෙරට සිදු වූ පුරාවිද්‍යා කටයුතු සමඟ ඇති වු පිබිදීමත් සමඟ පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් මෙරට විශ්වවිද්‍යාල ඇසුරින් ආරම්භ කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ බව පෙනේ. පුරාවිද්‍යා විෂයය ප‍්‍රථම උපාධිය සඳහා හඳුන්වා දීමේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපතිවරයා වූ වැලිවිටියේ සෝරත නාහිමියන් විශාල මෙහෙවරක් සිදු කර ඇත (සාකච්ඡාව 10). මෙම විෂයය මුල් කාලීනව විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමේ කටයුතු සිදු කරනු ලැබුවේ පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ පිරිස් නොව පාලි, සංස්කෘත, සිංහල, ඉතිහාසය වැනි විෂයයන් හැදෑරූ පිරිස් ය. ඒ අනුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මෙම විෂයය ඉගැන්වීමේ කටයුතු සඳහා වැලිවිටියේ සෝරත හිමියන්, හාන්දුපැල්පොළ පුඤ්ඤරතන, කඹුරුපිටියේ වනරතන, මිරිස්සේ ගුණසිරි යන හිමිවරුන් ද ආචාර්ය පි. ඊ. පී දැරණියගල, මහාචාර්ය කේ. පී මුඛර්ජි වැනි විද්වතුන් අර්ධකාලීනව හෝ පූර්ණකාලීනව බඳවා ගන්නා ලදී (එම).

1970 දශකයෙන් පසු මේ තත්වය ක‍්‍රමිකව වෙනස් වී පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ පිරිස් විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන් කටයුතු කරන්නට විය. ඇතැම් පිරිස් විදෙස් රටවලින් පුරාවිද්‍යාව හදාරා පැමිණි පිරිස් විය. ඒ අනුව මොවුන් හරහා ලෝක පුරාවිද්‍යාවේ සිදු වු වෙනස්කම්, අලූත් න්‍යායන්, විද්‍යාත්මක පුරාවිද්‍යා සමීක්‍ෂණ ක‍්‍රම ආදී සියල්ල මෙරට විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයින් වෙත ලබා දීම සිදු විය. එමගින් ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය නව මාවතකට ගෙන ඒමට හැකියාව ලැබුණු අතර ලෝක පුරාවිද්‍යාවේ සිදු වු වෙනස්කම්, අලූත් න්‍යායන්, විද්‍යාත්මක පුරාවිද්‍යා සමීක්‍ෂණ ක‍්‍රම ආදී සියල්ල ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දෙනු ලබන්නේ මෙරට විශ්වවිද්‍යාල හරහා ය. මෙම තත්වය ඇතිවීමට පෙර පරණවිතාන, චාල්ස් ගොඩකුඹුර, පී.ඊ.පී දැරණියගල වැනි පිරිස් පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සිදු කළ ද විද්‍යාත්මක සංසිද්ධීන්ට අනුව පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සිදු වුයේ මෙම පරිවර්තනයෙන් පසුවය. මෙම වෙනස පැහැදිලි ව පෙනෙන සන්දිස්ථානයක් වශයෙන් 1984 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ආචාර්ය සිරාන් දැරණියගල විසින් සිදු කළ කැනීම පෙන්වා දිය හැකි ය. පුරාවිද්‍යා කැනීම් විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුව සිදු කිරීමට පියවර ගැනීමේ ගෞරවය ද මොහුට හිමි වේ. මීට අමතරව තිරියාය, අකුරුගොඩ, කන්තරෝදය ආදී බොහෝ ස්ථානවල කැනීම් සිදු කළ අතර කාල නීර්ණ භාවිත කරමින් විද්‍යානුකූල ක‍්‍රමවේදයන්ට අනුව මෙම සමීක්‍ෂණ කටයුතු සිදු කිරීම මෙහිලා විශේෂ වේ. මේ අනුව 1980 දශකයෙන් පසු මෙරට තුළ පුරාවිද්‍යාඥයින් බිහිවීම දැකගත හැකි ය. මේ අයුරින් වෘත්තීමය පුරාවිද්‍යාඥයින් බිහිකිරීමේ ගෞරවය හිමිවන්නේ විශ්වවිද්‍යාලයන්ට ය.

ක‍්‍රමානුකූලව ලෝක පුරාවිද්‍යාවේ ඇතිවන වෙනස්කම් අනුව මෙරට විශ්වවිද්‍යාල පුරාවිද්‍යා විෂය පථය ක‍්‍රමිකව වෙනස්වීම් වලට ලක්වීම දැකගත හැකි ය. ඒ අනුව මේ වන විට,

  • භාෂා අධ්‍යයනය
  • කලා ඉතිහාසය හා ප‍්‍රතිමාවේදය
  • අභිලේඛන හා සෙල්ලිපි
  • නාණක විද්‍යාව
  • සංරක්‍ෂණය
  • වාස්තු විද්‍යාව
  • අත් පිටපත් හා පැරණි ලිපි ලේඛන අධ්‍යයනය
  • ප‍්‍රාග් ඉතිහාසය හා මූල ඓතිහාසික පුරාවිද්‍යාව යන විෂයයන් සාම්ප‍්‍රදායික පුරාවිද්‍යා විෂයයන් ලෙසත්,

විද්‍යාත්මක නව ප‍්‍රවේශයක් සහිත විෂයයන් වශයෙන්

  • පුරාවිද්‍යා උරුම කළමනාකරණය
  • කාර්මික පුරාවිද්‍යාව
  • දිය යට හා ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව
  • මානවවංශ පුරාවිද්‍යාව
  • භූ පුරාවිද්‍යාව
  • පාරිසරික හා භූ දර්ශන පුරාවිද්‍යාව යන විෂයනුත් විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා විෂය පථයට වර්තමානයේ දී ඇතුළත් වී ඇත.

මේ අනුව ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සඳහා ලෝක පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ඇතිවන වෙනස්කම්, වර්ධනයන් සංක‍්‍රමනය වීම සිදු වන්නේ විශ්වවිද්‍යාල හරහා බව පැහැදිලි ය.

1890 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ආරම්භවීම සිදු වුව ද 1960 දශකයේ දී පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් විශ්වවිද්‍යාල තුළ ආරම්භ වුව ද 1980 දශකය වන තෙක් ම පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය තුළ පුරාවිද්‍යා උපාධිධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය දක්නට නොලැබුණි. විශේ්ෂයෙන් පුරාවිද්‍යා උපාධිධාරීන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානතම ආයතනය වූ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සතු නොවී ය. මෙකල පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරමින් සිටි වන්ද්‍ර වික‍්‍රමගමගේ, සේනක බණ්ඩාරනායක, රෝලන්ඞ් සිල්වා වැනි පිරිස් ද පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ පිරිස් නොවී ය. නමුත් මේ පිරිස පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සඳහා පුරාවිද්‍යා විෂයය හැදැරූ උපාධිධාරීන් බඳවා ගත යුතු බවත් පුරවිද්‍යා සමීක්‍ෂණ කටයුතු විද්‍යානුකූලව කළ යුතු බවත් නිරන්තරයෙන් හඬ නැගූ පිරිස් විය.

1980 වර්ෂයේ දී මේ සියලූ ගැටලූ විසදීමේ අරමුණින් යුතුව ආචාර්ය රෝලන්ඞ් සිල්වාගේ ප‍්‍රමුඛත්වයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ කළේ ය. මෙම ආයතනය විශ්වවිද්‍යාලවලින් පිටවන පුරාවිද්‍යා උපාධිධාරීන්ට වෘත්කීමය පරිසරය ගොඩනැගීම සඳහා මහඟු දායකත්වයක් ලබා දෙන ලදී. ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය හා විශ්වවිද්‍යාල පද්ධතිය එක්ව නව මාවතක් ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාව යොමු කිරීමට මෙමඟින් හැකි විය. විශ්වවිද්‍යාලවල න්‍යායාත්මක දැනුම හා පුරාවිද්‍යාවේ ප‍්‍රායෝගික දැනුම ඒකාබද්ධ වු අවස්ථාවක් වශයෙන් මෙය පෙන්වා දිය හැකි ය. මෙම සිදුවීම පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට සමත් වු කරුණක් විය. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමට මෙමගින් හැකි විය. ප‍්‍රථම වරට පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සෘජුව ම සම්බන්ධ කර ගැනීම මෙම ව්‍යාපෘති විශ්වවිද්‍යාල සඳහා ලබා දීම මඟින් සිදු විය. මෙම ව්‍යාපෘතිවල අධ්‍යාපනික අධ්‍යක්‍ෂවරවයකු පත් වීම මෙමඟින් සිදු විය. විද්‍යානුකුල පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සිදු කිරීම මෙමගින් සිදු වු අතරම ඒවායේ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් ක‍්‍රමානුකූල ව්‍යාපෘති වාර්තා එළිදැක්වීම ආරම්භ වන්නේ මේ කාලය තුළ දී ය. 1980 දශකයෙන් පසු ව පර්යේෂණ ලිපි, පර්යේෂණ වාර්තා ඉදිරිපත්වීම ද දැක ගත හැකි ය. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය පිළිබඳ ලෝකයේ අවධානය යොමු වීම මෙන් ම මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ සිදු වන පර්යේෂණ ලෝකයේ පිළිගැනීමට ලක් වන්නේ ද මෙම ක‍්‍රියාවලිය හරහා ය.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ආරම්භවීම මඟින් මේ තත්වය තවත් තීව‍්‍ර වු අතර මෙම ආයතනය මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක් ව 1988 දී ආරම්භ කළ සීගිරි – දඹුලූු ව්‍යාපෘතිය විශ්වවිද්‍යාල දැනුම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් හා මුහු වු අවස්ථාවක් විය. විශ්වවිද්‍යාල මඟින් ලබාගත් ප‍්‍රථම උපාධියෙන් පසු පුරාවිද්‍යා විෂයය පිළිබඳව දැනුව වර්ධනය කර ගැනීම සඳහා මෙරට තුළදී ම පුරාවිද්‍යා පශ්චාත් උපාධි හැදෑරීමේ ද අවස්ථාව උදාකරදීම මඟින් මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දියුණුව තව තවත් වර්ධනය කිරීමට සමත් විය. විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා සම්බන්ධ කර ගැනීම මඟින් එහි සාර්ථකත්වය එම ව්‍යාපෘති වාර්තා මඟින් ද අනාවරණය කර ගත හැකි ය. අනාගත පුරාවිද්‍යාඥයින්ට පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳව ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දෙන අතරේ ම ලෝකයේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර තුළ ඇතිවන නව ප‍්‍රවණතාවන් ශ‍්‍රි ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට උකහා ගැනීම සඳහා විශ්වවිද්‍යාල දායක කර ගත් බව පෙනේ. මෙහි නුතන අවස්ථාව වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් සෘජුව ම රජගල ව්‍යාපෘතිය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලබා දීම පෙන්වා දිය හැකි ය. පුරාවිද්‍යා කටයුතු ආරම්භ කරමින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව 1890 දී ආරම්භ වුවද පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් හුදකලා ගමනක නියැලී සිටියේ ය. 1980 සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භවීම මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂයක් වු අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, විශ්වවිද්‍යාල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, වෙනත් පුරාවිද්‍යා ආයතන එකට යා කළ මාවතක් විය. මේ අනුව වර්තමානය වන විට මේ සියලූ ආයතන ඒකාබද්ධව පවතින අතර මේ ඒකාබද්ධතාව ශක්තිමත් වී ඇත්තේ විශ්වවිද්‍යාලයීය දායකත්වය නිසා ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • බස්නායක එච්. ටී. හා උදා හෙට්ටිගේ (1992), පුරාවිද්‍යා ප‍්‍රවේශය, චතුර මුද්‍රණාලය, වැල්ලම්පිටිය.
  • ලගමුව, ඒ. (2000), ප‍්‍රායෝගික ක්ෙෂ්ත්‍ර පුරාවිද්‍යාව, ෂර්ෂ් ග‍්‍රැෆික් හවුස්, මහරගම.
  • සෝමදේව, රාජ් (2000), පුරාවිද්‍යාවේ සිද්ධාන්ත, ක‍්‍රම හා භාවිතය, සෙට්කෝ ප‍්‍රඩක්ෂන්, කිරිබත්ගොඩ.
  • කුමාර, ඞී.එම්.ඞී.එල්. (2014), පුරාවිද්‍යාවට සරසවි දායකත්වය, දිවයින, 2014.7 .7 උපාලි පෙපර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්, පිටු අංක 8
  • කුමාර, ඞී.එම්.ඞී.එල්. (2014), පුරාවිද්‍යාවට සරසවි දායකත්වය, දිවයින, 2014.7.8 උපාලි පෙපර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්, පිටු අංක 13

සම්මුඛ සාකච්ඡා

  • සාකච්ඡාව 1 : මහාචාර්ය මාලිංග අමරසිංහ, 2014.11.18, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව හා අධ්‍යයනාංශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලය, පෙ.ව.9.30 සිට 11.30 දක්වා
  • සාකච්ඡාව 2 : මහාචාර්ය අනුර මනතුංග, 2014.11.19, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව හා අධ්‍යයනාංශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලය, පෙ.ව. 11.00 සිට ප.ව. 12.00 දක්වා
  • සාකච්ඡාව 3 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන විතානාච්චි 2014.12.10, රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, පෙ.ව. 11.30 සිට ප.ව. 12 දක්වා
  • සාකච්ඡාව 4 : කථිකාචාර්ය තිලංග සිරිවර්ධන, 2014.12.10, රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, ප.ව. 3.30 සිට ප.ව. 4.30 දක්වා
  • සාකච්ඡාව 5 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සීවලි බණ්ඩාර මනතුංග, 2015.1.23, රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, ප.ව. 2.30 සිට ප.ව. 4.30 දක්වා
  • සාකච්ඡාව 6 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි චිත‍්‍රානන්ද, 2015.1.24, රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා
  • සාකච්ඡාව 7 : ආචාර්ය පී. විදානපතිරණ 2015.2.11, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පෙ.ව. 9.00 සිට 10.00 දක්වා
  • සාකච්ඡාව 8 : මහාචාර්ය ජගත් වීරසිංහ, 2015.2.11, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ප.ව. 12.30 සිට 1.30 දක්වා
  • සාකච්ඡාව 9 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඞී. කේ ජයරත්න, 2015.4.21, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව හා අධ්‍යයනාංශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා අධ්‍යයනාංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා
  • සාකච්ඡාව 10 : ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, 2015.4.28, ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පිළිබඳ ව හා පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා
  • සාකච්ඡාව 11 : මහාචාර්ය පී.බී. මණ්ඩාවල, 2015.4.29, ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පිළිබඳ ව හා පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා

දඹේගොඩ අවලෝකිතේශ්වර බෝසත් පිළිමය

රොෂාන් ප්‍රසන්න බණ්‌ඩාර

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්. 

dambegoda-bodhisatva image - sri lanka
අන්තර්ජාලෙයන් උපුටාගන්නා ලද්දකි.


මහායානවාදයේ ආරම්භයේ නොතිබුණු බෝසත් සංකල්පය පසු කාලයේ දී ඇතිවීමට බලපා ඇත්තේ විඥානවාදය හා හින්දු ආකල්පවලට නැඹුරුවීමයි. මේ නිසා බෝධිසත්වවරයෝ යන අදහස ඔවුන් තුළ ඇති විය. ථෙරවාදී සංකල්පයේ බෝධිසත්වය යන වචනය සූත්‍ර ගණනාවක සදහන් කර ඇත. භෙරව සූත්‍රය වැනි සූත්‍රවල ‘බොධියා සත්තො බෝධිසත්තො’ යනුවෙන් සදහන් කර තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. ලෞකික චිත්තය, බෝධිසත්ත චිත්තය, බුද්ධ චිත්තය යනුවෙන් සිත තුන් අකාරයකින් පවතින අතර බෝධිසත්වයාගේ සිත බෝධිසත්ත චිත්තය නමින් හැදින්වේ. ‘සකල සත්වයන් සංසාරයෙන් ගොඩගනු පිණිස බුදුවෙම්වයි’ යනුවෙන් බෝධිසත්ව සිත් තුළ බුද්ධත්වය අපේක්‌ෂා කරයි. බෝසත්වරයකු විසින් උපදවාගත යුතු ප්‍රධාන බෝසත් ගුණය වන්නේ මහා කරුණාවයි. මහායාන බෝසත්වරයකු පිරිය යුතු දස පාරමිතාවන් පිළිබද කියවෙන අතර දාන, ශීල, ක්‌ෂාන්ති, වීර්යය, ධ්‍යාන, ප්‍රඥා, උපාය, පණිධාන, බල හා ඥාන යන දස පාරමිතාවන් වැදගත් වේ. ථෙරවාදයට අනුව බෝසත්වරයකු දාන, ශීල, නෙක්‌ඛම්ම, පඤ්ඤා, වීර්යය, ඛන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෙත්තා හා උපේක්‌ඛා යන දස පාරමිතා පිරිය යුතු බවට විශ්වාස කරයි….

සම්පූර්ණ ලිපිය කියවීම සදහා
2016.06.01 – දිවයින බදාදා සංග්‍රහය 

ශ්‍රී ලංකාවේ දේශීය ඥානය සංරක්‍ෂණ විධික්‍රම

බෝදාගම සුමන හිමි

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුරය

archaeology.lk
ෙමම ඡායාරූපය http://goviya.com ෙවබ් අඩවිෙයන් උපුටා ගන්නා ලදි.

දේශීය දැනුම (Indigenous knowledge) යනු යම් දේශයකට, ප්‍රදේශයකට, ජන සමූහයකට අයත් විශේෂිත වූ දැනුම් සම්භාරයකි. පාරම්පරික ඥානය, දේශජ ඥානය, සාම්ප්‍රදායික දැනුම යනුවෙන් ද හඳුන්වනු ලබන මෙම ඥාන විශේෂය මානවයා පරපුරෙන්පරපුරට පවත්වාගෙන එනු ලැබූවක්‌ වන අතර යම් භූමි ප්‍රදේශයක වෙසෙන ජන සමූහයකට ආවේණික ගුණාංගයන් පිළිබිඹු කරන කැඩපතක්‌ ලෙස ද දැක්‌විය හැකි ය. ශ්‍රී ලංකාව ඉතා දිගු ශිෂ්ඨාචාරයක්‌ තුළින් සංස්‌කෘතියත්, සභ්‍යත්වයත් රැගෙන ආ එක්‌ විශේෂ දිවයිනකි. අදත් දිවයිනේ ඈත පිටිසර පළාත්වල ජනතාව විසින් දේශීයත්වය හා බැඳුණු පාරම්පරික දැනුම හා ව්‍යවහාරයන් මහත් ලැදිකමකින් ආරක්‍ෂා කරනු ලබයි. නමුත් අහස පරයා තනන ලද රුවන්වැලි, ෙජ්තවන, අභයගිරි වැනි ථූපයන් ද මහ සමුදුර පරයන මහා වැව් ද මහින්දාගමනයෙන් ඔපවත් වූ දේශීය අධ්‍යාපනයේ හරවත්කම ද බුද්ධදාස වැනි රජුන් කළ වෙදකම් ද, ස්‌වභාව දහම හා බැඳුණු ඒ අවබෝධය අද වන විට තුරන් ව ගොස්‌ ඇත. මේ සදහා ද්‍රවිඩ, ලන්දේසි, පෘතුගීසි, ඉංගී්‍රසි ආදී විදේශීය ආක්‍රමණ පොදුවේ බලපා ඇත. වර්තමානයේ ද නවීන තාක්‍ෂණය හමුවේ දේශීයවය බැහැර වෙමින් පවති. නවීන තාක්‍ෂණය හමුවේ අභාවයට ගිය පාරම්පරික දැනුම එකී තාක්‍ෂණික භාවිතය තුළින්ම සංරක්‍ෂණය කරගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කළ යුතුව ඇත….

සම්පූර්ණ ලිපිය කියවීම සදහා
දිවයින බදාදා සංග්‍රහය 2016.06.01

කූරගල ගවේශනය 2014 – අදියර 1- වාර්තාව

මහාචාර්ය රාජ් සෝමදේව මහතා 2014 දී සිදු කල කූරගල ගවේශනයේ වර්තාව ඔබට දැන් PDF ගොනුවක් ලෙස භාගත හැක.

වාර්තාව භාගත කර ගන්න

 

KuragalaReport

පුරා විදු කතිකා, ප්‍රශ්න අංක 1 : අාචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ප්‍රශ්න අංක 1 :  අපි කැමතියි මුළින් ම දැන ගන්න, කුඩා කාලයේ ඔබ තුමාගේ පිය තුමා යටතේ හා එයින් පරිබාහිර ව පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම්  පිළිබඳ ව

මුලින් ම කියන්නේ පුරාවිද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය මට හිතෙන්නෙ, මගෙ ජානවලත් තියෙනවා. මගෙ මුත්තා, මගේ අත්තගෙ පියතුමා, ප්‍රසිද්ධ කවියෙක් හැටියට හිටියා. කුස දා කව ලිව්වෙ මගෙ මුත්තා. ඊට අමතර ව පුරාවස්තු ගැන විශේෂ, අපේ ඉතිහාසය ගැන විශේෂ ඇල්මක් තිබුණා උන්නැහේට. එතකොට මගෙ අත්තා ලංකාවේ පරිපාලන සේවයේ මුල් ම සිංහල කෙනා උනාට මේ… ඒත් විශේෂයෙන් ඉතිහාසය, පුරාවිද්‍යාවට ලොකු සේවයක් කෙරුවා මේ රටේ. පුරාවිද්‍යාව පැත්තෙන් බැලුවොත් යාපනේ කන්තරෝඩේ ස්ථානය 1917 කැනීම් කරේ උන්නැහේ. එතකොට මගෙ පියතුමා ජෛව විද්‍යාවට විශේෂයෙන් ඒ පිළිබඳ ව තමයි දැනුමක් තිබුණේ, විශේෂඥයෙකු උනේ. Zoology. හැබැයි මානව විද්‍යාවට පසු කාලයේ දී විශේෂයෙන් ඇල්මක් ඇති වුණා. උන්නැහේ තමයි බලංගොඩ මානවයා පිළිබඳ 1930 ගණන් පටන් මේ පර්යේෂණ පැවැත්තුවෙ. ඉතින්, මගෙ කුඩා කාලෙ පටන් මට පෙනෙන්ඩ තිබුණේ මගෙ පියතුමා මෙහෙම ඉතා වැදගත්, රට වෙනුවෙන් කටයුත්තක යෙදී සිටි බවට මට පැහැදිලි වෙලා තිබුණා. ඒ කියන්නේ ජෛව විද්‍යාවට අමතර ව අලි පිළිබඳ පර්යේෂණ වලට අමතර ව මගෙ පියතුමා මානව විද්‍යාවට කැප වූ හැටි මං දැක්කා. දැක්කා පමණක් නොවේ, අවුරුදු දහයේ පටන් ඔහුගේ ගවේෂණ වලටත්, සංචාර වලත් මං සහභාගි වූණා. උදාහරණයක් වශයෙන් රාවණා ඇල්ල කැනීම් කරන විට 1940 ගණන්වල පනස් ගණන්වල ඒවායේ මං සහභාගි වුණා. දිගට ම හිටියෙ නෑ, ගිහින් බැලුවා. ඉතින් ඒ සිද්ධි ඇස්දෙකට පේන්න තිබුණා. එයින් මට මෙය ඇතුල් වූණා අපේ ඉතිහාසය පිළිබඳ ව, පුරාවිද්‍යාව පිළිබඳ  මුල් කාලයේ පටන් එක්තරා පදනමක් ඇති වුණා මා තුළ.

ඉන් පසු, මම අධ්‍යාපනය ලබාගෙන විශ්වවිද්‍යාලයට ගියායින් පස්සෙ අපේ මුල මොකද් ද කියල හිටන් පර්යේෂණ පවත්වන්න මගේ විශේෂ කැක්කුමක් තිබුණා. මම ඇත්තට ම පටන් ගත්තේ වාස්තුවිද්‍යාඥයෙක් හැටියට. ඒකෙ අවුරුදු තුනක් ගතකෙරුවයින් පස්සෙ වාස්තුවිද්‍යාව ඉගෙනගෙන මට තේරුණා යුරෝපීය අදහස් අපට ගැළපෙන්නෙ නැති බව. ඒ කියන්නේ, ඒ කාලෙ වාස්තුවිද්‍යාඥයෝ කිව්වොත් යුරෝපීය මිස්පදරෝල්, ලොකබූසේ වගේ අය තමයි ලෝක වාස්තුවිද්‍යාවේ ඉදිරිපත් වෙලා, නායකයො හැටියට හිටියේ. හැබැයි ඒ ඇත්තන්ගේ අදහස් මට ගැළපුණේ නෑ. මට නම් පොඩි වරිච්චි ගේක ඉන්න එක හොදයි, ඔය තට්ටු ගෙවල්වල කොන්ක්‍රිට්, යකඩ, ක්රෝම් ගෙවල් වල වාසය කරනවට වැඩිය. මට ගැළපෙනව කියලා හිතාගෙන මං ඒ වාස්තුවිද්‍යා අධ්‍යයනය අතඇරියා. අතඇරලා අපේ සංස්කෘතියට මොකද වුණේ, සංස්කෘත භාෂාව, සංස්කෘතිය ඒ කියන්නේ ශිෂ්ටාචාරය. මගේ මුල් උපාධිය ගත්තේ සංස්කෘත භාෂාවෙන්. ලොක ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක් මට උපදෙස් දුන්නෙ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඒ සංස්කෘත භාෂාව ඉගෙන ගෙන, ඉන් පසුව එතනින් ඒ භාෂාව, මට තේරුණා ඒ භාෂාව ගැන දැනුමට පමණක් සීමා වුණොත් එත් පුළුල් දැනුමක් නෑ කියලා අපේ අතීතෙය ගැන. එතනින් තමයි මම පුරාවිද්‍යාවට ගියේ.

පශ්චාත් අධ්‍යනය ලැබුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. දැන් කියන්නේ යුනිවර්සිටි කොලේජ් ඔෆ් ලන්ඩන් කියලා. ඒ කාලේ ඉන්ස්ටිටියුට් ඔෆ් ආර්කියෝලොජි, ලන්ඩන් කියලා ලෝක ප්‍රිසිද්ධ, ඒ කාලේ තිබිච්ච ලෝකේ ඉහළ ම මට්ටමේ පුරාවිද්‍යා උගන්වන ආයතනය. එතනින් මං ඉගෙන ගත්තා අවුරුදු දෙකක්. ඉන් පසුව ලංකාවට ඇවිත් මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැදුණා 1968. 65 මං ඉවර වුණා ලන්ඩන්වල. කේම්බ්‍රිජ්වල ඉවර වුණේ 63. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැදුණේ 1968. ඉන් පසුව මම තනි කර පර්යේෂණවල යෙදුණා.

ඊ ලඟට සවන් ෙදන්න . . .

ප්‍රශ්න අංක 2 : ආචාර්යතුමනි, යම්කිසි විෂයක ප්‍රවීනයෙකු වීමේ දී එ තුමා ලබා ගන්නා විධිමත් අධ්‍යාපනය එ තුමාට බලපානවා. සමහර විට විධිමත් අධ්‍යාපනයනට වඩා වැඩියෙන් අවිධිමත් අධ්‍යාපනය ශාස්ත්‍රඥයෙක් වීම සඳහා බලපාන්න පුළුවන්. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න, ශාත්‍රඥයෙකු වශයෙන් ඉදිරියට පැමිණීමේ දී ඔබ තුමා විධිමත් හා අවිධිමත් වශයෙන් අධ්‍යාපනය ලැබුණු ආකාරය හා එය ඔබ තුමාගේ ශාස්ත්‍රීය ජීවිතයට බලපෑවේ කෙසේ ද යන්න පිළිබද ව 

මහනුවර මැදවාසල ගොඩනැගිල්ල ජනතා අයිතියට

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

ශ්‍රී ලංකාවේ අන්තිම රාජධානිය වශයෙන් මහනුවර රාජධානිය හඳුන්වා දිය හැකි ය. නගරයට නැගෙනහිරින් වූ රාජකීය ගොඩනැගිලිවලින් සමන්විත උස් භූමිභාගයක දළදා මාළිගාව ඉදි කර ඇත. නැගෙනහිර පසින් උඩවත්ත කැලයෙන් ද, දකුණු පසින් බෝගම්බර වැවෙන් ද, උතුරු පසින් පැරණි රජමාළිගයෙන් ද බස්නාහිර පසින් නාථ දේවාලයෙන් ද දළදා මාළිගාව වට වී තිබේ. මහවංශයේ සඳහන් වන පරිදි මහනුවර රාජධානියේ ප්‍රථමයෙන් ම දළදා මැදුරක් ඉදි කරන ලද්දේ පළමු වැනි විමලධර්මසූරිය රජු ය. ඉන් පසු දෙ වැනි රාජසිංහ රජු ද දෙ වැනි විමලධර්මසූරිය රජු ද ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු ද මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත.

දළදා මාළිගයට ඉදිරිපසින් වූ නාථ දේවාලයටත් දළදා මාළිගයටත් අතර මහා මාර්ගය ගමන් කරයි. දළදා මැදුර හා රජ මාළිගය මහාමාර්ගයෙන් වෙන් වන්නේ මිටි පවුරකිනි. වළාකුළු බැම්ම නමින් හදුන්වනු ලබන සහ ඊට පිටුපසින් ඒ ආකාරයෙන් ම තනන ලද උස් ප්‍රකාරයක් දක්නට ලැබේ. මෙම ප්‍රකාර දෙක මධ්‍යයේ දිය අගල පිහිටා තිබේ. මාළිගාවට යාබද ව ඊට පිටුපසින් මහනුවර ජාතික කෞතුකාගාරය හා අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරය අතර මැද වාසල පිහිටා තිබේ. මහනුවර ජාතික කෞතුකාගාරය පල්ලේ වාසල නමින් ද අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරය උඩ වාසල නමින් ද හදුන්වනු ලැබේ. මෙහි දී අවධානය යොමු කරනු ලබන්නේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් මැදවාසල ගොඩනැගිල්ල සම්බන්ධයෙනි.

රෙංගම්මාල් බිසව
රෙංගම්මාල් බිසව

ක්‍රිස්තු වර්ෂ 1798-1815 කාලයේ රජ කළ මහනුවර රාජධානියේ අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වූ වෙන්කන රංග ජම්මාල් හෙවත් රෙංගම්මාල් බිසවගේ වාසස්ථානය මැදවාසල වන බවට ව්‍යවහාරයේ පවතී. යටත්විජිත යුගය එළෙඹනවිට මෙම ගොඩනැගිල්ල මැදවාහල නමින් හදුන්වා තිබේ. එය නිශ්චිත වශයෙන් ම හදුනා ගැනීමට 1815 දී එච්.ටී. කැප්පටිපොළ විසින් අදින ලද මහනුවර නගරය නිරූපිත සිතියමින් පැහැදිලි වේ. මුල දී අගබිසවගේ වාසස්ථානය වශයෙන් යොදා ගන්නා ලද මැදවාසල ගොඩනැගිල්ල පසුකාලීනව විවිධ උපයෝගීතාවන් සදහා භාවිත කර ඇති ආකාරයක් හදුනාගත හැකි ය. යටත් විජිත සමයේ ආරෝග්‍ය ශාලාවක් ලෙස ද යොදා ගෙන ඇති අතර මෑත කාලීනව ජාතික කෞතුකාගාර දෙර්තමේන්තුව යටතේ ගැමි කෞතුකාගාර ලෙස ද, බෞද්ධ කටයුතු අමාත්‍යංශය යටතේ මහනුවර කාර්යාලය පවත්වාගෙන යාම ද , මධ්‍යම සංස්කෘතික අමාත්‍යංශය යටතේ මහනුවර කාර්යාලය පවත්වාගෙන යාම ද පෙන්වා දිය හැකි ය.

මහනුවර යුගයේ අනන්‍යතාව හෙළි කරන විශේෂ අංගයක් ලෙස වාස්තුවිද්‍යාව හදුන්වාදිය හැකි ය. මෙම ගොඩනැගිල්ලේ අදාළ යුගයට ආව්ණික වූ දාරුමය නිර්මාණ රැසක් මෙහි දක්නට ලැබේ. මහනුවර යුගයේ වාස්තුවිද්‍යා නිර්මිතයන් අතර විෙශ්ෂ අංගයක් වන දැව කුළුණු සතරක් දැකගත හැකි ය. කැටයම් රහිත විශාල සිව්රැස් කුළුණු ද්විත්වය මධ්‍යයේ දර්ශනීය කැටයම් හා මල්, ලියවැල් හා මොස්තරවලින් අලංකාර තරමක් කුඩා දැව කුළුණු ද්විත්ව යක් වේ. සිවුරැස්ව හා අටැස්ව විහිදී ගිය මෙම කුළුණු එකිනෙකට සමාන සේ දික් වුව ද වෙනස් වූ සියුම් ලක්ෂණ සහිත ය.

මැදවාසල ගොැඩනැගිල්ලේ දොර හා උළුවස්ස සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී චන්ද්‍රවංක උළුවස්ස සහිත ප්‍රධාන ද්වාරයට අමතර ව අභ්‍යන්තර කුටියේ ද චන්ද්‍රවංකය සහිත ද්වාර දෙකකි. අභ්‍යන්තර කුටියට පිවිසීම සඳහා වන ප්‍රධාන ද්වාරය ඇතුළට විවර වන තනි පියනකින් යුක්ත වේ. අභ්‍යන්තර කුටියේ අනු ද්වාරයේ ඇති දැවවලින් නිර්මිත සරනේරු මහනුවර රාජධානි සමයේ පැවති වාස්තුවිද්‍යා කලාවේ විශිෂ්ඨත්වය කියාපාන නිදර්ශනයකි.

මැදවාසල
මැදවාසල

මෙම ගොඩනැගිල්ලට අයත් පැරණි ඡායාරූපවල දැක්වෙන ආකාරයට මෙහි වහලය පල හතරකින් යුත් උපරිභාගයක් බව හදුනාගත හැකි ය. එහෙත් වර්තමානය වනවිට දැකගත හැක්කේ එකිනෙකට සම්බන්ධ වහල තුනකින් සැදුම් ලද උපරිභාගයකි. මෙහි දැකගත හැකි කැණිමඩල ඉතා අලංකාර ය.

මැදමිදුල සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට එය පද්ම බොරදම්වලින් යුක්ත ය. එකතු වන ජලය බැහැර කිරීම සදහා උතුරු දෙසන් කාණුවක් යොදා තිබේ. මෙහි සවිකර ඇති “1915 ශක වර්ෂ 1837” ලෙස සදහන් ශිලා පුවරුව මගින් මැදවාසල හා පැවති යටත් විජිත යුගයේ සම්බන්ධතාව පෙන්නුම් කරනු ලබයි. මැදවාසල ගොඩනැගිල්ල හුදෙකලා අභ්‍යන්තර කුටියකින් සමන්විත වේ. එහි ඇදක් පැවති බවට සාධක සපයන කට්ට කැපූ ශිලා ආධාරක හතරක් දක්නට ලැබේ. මේවායේ තිබී හමු වූ ආරක්ෂක මන්තර යැයි උපකල්පනය කළ හැකි තඹ පත්ඉරු හතරක් දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරේ. මෙයට සමීපයේ අතීතයේ දී භාවිතයට ගෙන ඇතැයි සිතිය හැකි කැසිකිළි ගලක අවෙශ්ෂ දක්නට ලැබේ. මෑතක දී සිදු කරන ලද සංරක්ෂණ කටයුතුවල දී හමු වූ රතු පැහැ පසුබිමෙහි අදින ලද මල් මෝස්තරය සහිත ඉපැරණි සිතුවම් කොටස් මගින් මෙම ගොඩනැගිල්ලේ ඓතිහාසික වටිනාකම වැඩි වී තිබේ.

අභ්‍යන්තර කුටිය
අභ්‍යන්තර කුටිය

ඒ අනුව මධ්‍යම සංස්කාතික අරමුදල මගින් සංරක්ෂණය කරන ලද මෙම මැදවාසල ගොඩනැගිල්ල වර්ෂ දෙදහස් දාසයක් වූ මැදින් මස පස් වන දින දෙස් විදෙස් ජනයාගේ ප්‍රදර්ශනය සදහා විවෘාත කිරීමට නියමිත ය. මෙය නැරඹීම සදහා විදේශිය සංචාරකයගන් ටිකට්පතක් සදහා ඩොලර් එකක මුදලක් ද දේශීය සංචාරකයෙකු සඳහා රුපියල් 20ක මුදලක් ද වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා රුපියල් 10ක මුදලක් ද පාසල් ළමුන් සඳහා මුදල් රහිත ව ද නැරඹීමට අවස්ථාව උදා වනු ඇත.

ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ සභාගිත්වයෙන් සහ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2016.03.05 වන දින පෙ.ව.10.30ට යෙෙදන සුභ මොහොතින් උත්සවාකාරයෙන් මහනුවර මැදවාසල ජනතා අයිතියට පත් කරන ලදී.

පිහිටීම

[porto_map_section]Insert Content[/porto_map_section]

පනාමුර වලල්ගොඩ පුරාණ ටැම්පිට විහාරය විනාශ මුඛයේ

නුවන් ජයසේකර

සුරියවැව

Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
පනාමුර, වලල්ගොඩ පුරාණ ටැම්පිට විහාරය

ශ්‍රි ලාංෙක්ය අභිමානය හා පැරණි උරුමයන් කියාපාන බොහෝ පෞරාණික පුරාවිද්‍යා ස්ථාන අද වන විට විනාශ මුඛයට යමින් තිබෙන්නේ වගකිවයුතු බළධාරීන්ගේ නිසි අවධානයට ලක් නොවීම හේතුවෙනි. පුරාවිද්‍යා නිළධාරීන්ගේ නොසැලකිල්ල නිසාවෙන් ලංකා ඉතිහාසයට වටිනාකමක් ගෙන දෙන පනාමුර වලල්ගොඩ පැරණි ටැම්පිට විහාරය විනාශ මුඛයට යමින් පවතින බවයි විහාරාධිපති හිමියන් හා ගම් වැසියන් පවසන්නේ.

සබරගමුව පළාතේ කෙළවරක පිහිටි කොලොන්න කෝරලයේ පනාමුර වලල්ගොඩ නම් ග්‍රාමයේ මේ ඓතිහාසික ටැම්පිට විහාරය පිහිටා තිබේ. කීර්ති ශ්‍රි රාජසිංහ රජු රාජ්‍යත්වයට පත් වී වසර 37ට පසු මෙම විහාරස්ථානය ඉදිකර වූ බවත්, සියම් දේහයෙන් වැඩම කල උපාලි ස්ථවිරයන් වහන්සේ මේ ස්ථානයේ වැඩ සිට භික්ෂුන් වහන්සේ සදහා විනය කර්ම කිරිමට සීමා මාලකයක් සම්මත කල බව ද ඉතිහාසයේ සදහන් වෙයි. එවකට මෙම විහාරය කරවු අලහකොන් මුදියන්සේ සහ විජයකෝන් මුදියන්සේ යන දෙපළ විසින් වී කුරුණි 152  ක වපසරියකින් යුත් කුඹුරු ඉඩම්ද වලල්ගොඩ  විහාරස්ථානයට පුජා කොට ඇති බව විහාරස්ථානයේ ඇති පිං පත්‍රයක සදහන් වි ඇත.

වර්ථමානය වන විට මෙම ටැම්පිට විහාරය පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරිපාලනය යටතේ ය. මේ තරම් වටිනා කමක් ඇති මෙම ටැම්පිට විහාරයට අද අත්ව ඇත්තේ කණගාටු දායක තත්වයකි. නුවර යුගයේ අවධි දෙකකට අයත් බිතු සිතුවම් ඇති මෙම විහාරය අද වන විට කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් නොවීම නිසා දිරා පත්වෙමින් යයි.

වලල්ගොඩ පුරාණ රජමහ විහාරාධිපති,වලල්ගොඩ විද්‍යාලයේ ආචාර්ය පුජ්‍ය.මොරගල පඤ්ඤානන්ද හිමියන්

Rev.Moragala-Pannananda-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
විහාරාධිපති පූජ්‍ය, මොරගල පඤ්ඤානන්ද හිමිපාණන් වහන්ෙස්

කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ නියමය පරිදි ප්‍රාදේශීන නියෝජිතයින් කිහිපදෙනෙකු විසින් මෙම විහාරස්ථානය කරවලා පුජා කරලා තියෙනවා. අවස්ථා කිහිපයක දී ම මේ විහාරස්ථානය ලන්දේසීන්ගේ ආක්‍රමණයට හසු වෙලා තියෙනවා. වරක් ලන්දේසීන් මේ විහාරස්ථානයේ තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගිණි තබා විනාශ කරලා තියෙනවා. ඒ අවස්ථාවේ ඉතුරු වෙලා තිබුනේ මේ ටැම්පිට විහාරය විතරයි. සියම් නිකායේ ආරම්භකයා වු උපාලි හාමුදුරුවන් මේ ස්ථානයට පැමිණ සිමාවවක් නිර්ණය කරලා තියෙනවා. මේ තියෙන ටැම්පිට විහාරයේ පහළ මාලය විනය කර්ම කිරීමටත් උඩු මහල වැදුම්පිදුම් කිරීමට බුදු ගෙයත් ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බුදුගෙය තුළ නුවර යුගයට හා මධ්‍යතන යුගයට අයත් සිතුවම් රැසක් තියෙනවා. නමුත් ඒවා අද වන විට විනාශ වෙමින් පවතිනවා. අපිටවත් මෙහි කිසිදු ප්‍රථිසංස්කරණ කටයුත්තක් සිදු කරන්න බෑ. මොකද මෙම ටැම් පිට විහාරය අද වන විට පුරාවිද්‍යා එක යටතේ පවතින නිසා. ඇත්තට ම අනාගත පරපුර වෙනුවෙන් මෙම විහාරය ආරක්ෂා කර දීම තමයි වගකිවයුත්තන්ගේ යුතුකම වෙන්නේ. නමුත් කියන්න කණගාටුයි අද වන විට මේ ටැම්පිට විහාරය දිනෙන් දින විනාශයට යමින් තියෙනවා. පුරාවිද්‍යා එකට මන් අවස්ථා කිහිපයකදිම දැනුම් දිලා තියෙනවා මේ පිළිබදව. මාස කීපයකට සැරයක් නිළධාරියෙක් දෙන්නේක් ඇවිත් යනවා මිසක් විහාරය හදන්න අවශ්‍ය කටයුතු නම් මේ වෙනකම් කරලා නෑ.

වලල්ගොඩ පුරාණ විහාරයේ දායක සභාවේ සභාපති කේ.ජී.ඥානතිලක මහතා

K.G.Gnanathilake-Pannananda-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
දායක සභාවේ සභාපති කේ.ජී. ඥානතිලක මහතා

මේ පළාතට තියෙන ඓතිහාසික උරුමයක් වන වලල්ගොඩ ටැම්පිට විහාරය විනාශයට යාමට ඉඩහැර තිබිම කණගාටුවට කරුණක්. විවිධ විශ්වවිද්‍යාලවල කලාව විෂය හදාරන බොහෝ සිසුන් ප්‍රමාණයක් නිතර නිතර මේ විහාරස්තානයට පැමිණ මෙම සිතුවම් පිටපත්කරගෙන යනවා. ඒ තරම් වටිනා ස්ථානයක් ලෙසයි මෙම ටැම්පිට විහාරය හදුන්වන්නේ. නගරයෙන් ඈත් වෙලා මෙම ස්ථානය පිහිටිම නිසාදෝ පුරාවිද්‍යා එකේ අයවත් මේ විහාරය ගුන සොයා බැලීමක් දකින්න නැහැ. අද වන විට විහාරයේ වහල පවා කැඩිලා  මුක්කු අධාරයෙන් තමයි තිවෙන්නේ. ඊට අමතරව විහාරයේ සිතුවම් පවා විනාශ වෙලා ගිහින්. පුරාවිද්‍යා එකට අපි කිහිප විටක් දැන්වුවත් වැඩක් වෙලා නෑ. පුරාවිද්‍යා එකට බැරිනම් කියන්න ගමේ අපිට පුළුවන් මේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු කරන්න. මේ විදියට තව මාස කිපයක් මේ විහාරය තිබුනොත් බිමටම කඩාගෙන වැටෙනවා කාටවත් වලක්වන්න බැරි වේවි. අනාගත දරු පරපුරට මේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරදීම පුරාවිද්‍යා නිළධාරීන්ගේ වගකිමක්.

ගම්වැසියෙක් වන දහනායක පුංචි අප්පුහාමි මහතා

Dahanayake Punchi Appuhay-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
දහනායක පුංචි අප්පුහාමි මහතා

මම 1950 ගණන්වල ඉදලා මේ විහාරය ගැන දන්නේ. ඇත්තටම කියන්න කණගාටුයි අද වන විට මේ ඓතිහාසික උරුමයක් වන ටැම්පිට විහාරයට අත්වෙලා තියෙන තත්වය. හිටිගමන් පුරාවිද්‍යා එකෙන් ඇවිත් රවුමක් ගහලා යනවා. ඒ එන අයටවත් මේ විහාරය විනාශයට යනවා කියලා පේන්නේ නැත්තේ ඇයි කයලා අපිට තොරෙන්නේ නෑ. වහල හොදටම අබලන්වෙලා. මුක්කුවල ආධාරයෙන් තියෙන්නේ. විහාරය වටේ තිබුණු ලී අත්වැට මේ වෙනකොට සම්පුර්ණයෙන්ම කැඩිලා ගිහින්. ගම්වැසියෝ විදියට අපි පුරාවිද්‍යා එකේ මහත්වරුන්ට කියන්නේ මේ විහාරස්ථානය අපිට ආරක්ෂා කර දෙන්න. අනාගත දරු පරපුරට ටැම්පිට විහාරයක් කියන්නේ මොකද්ද කියලවත් පෙන්වන්න ඉතුරුවෙලා තියෙන මේ වලල්ගොඩ ටැම්පිට විහාරය ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියන එක තමයි.

Front View-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
ඉදිරිපස ෙපනුම
Buddha Statue-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
සමාධි පිළිම වහන්ෙස්
Foundation-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
ටැම්පිට විහාරෙය් පාදම
Mura Statue-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
විනාශ ෙවමින් පවතින පිළිම
Inscription-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
ෙසල්ලිපියක්
Fresco-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
විනාශ ෙවමින් පවතින සිතුවම්
Deterioration-Panamura-Valalgoda Purana Tempita Viharaya-Nuwan Jayasekara-Sri Lanka
විනාශ ෙවමින් පවතින සිතුවම් ෙපන්වන විහාරාධිපති හාමුදුරුවන් වහන්ෙස්
2015.12.30

පුරාවිද්‍යා බලධාරීන්ට වසන් වූ මිහින්තලේ වසම්මලේ

රොෂාන් ප්‍රසන්න බණ්ඩාර

සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

අනුරාධපුර රාජධානි සමයේ දී මිහින්තලය වැදගත් ප්‍රදේශයක් විය. මිහින්තලය ගැන කතාකරන අප සැමටම එකවරම මතක්වන්නේ දේවානම් පියතිස්ස රජුගේ කාලයේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස බුදුදහම රැගෙන මෙහි පැමිණීම පිළිබඳවයි. මිහින්තලය වර්තමානයේ ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ කරුණ මූලික කරගෙන බව අපි දනිමු. මිහින්තලය පුදබිම අපගේ ඉතිහාසයට වැදගත්වනවා සේම මිහින්තලය අවට පිහිටි පුරාවිද්‍යාත්මක අතින් වැදගත්වන ඇතැම් අප්‍රසිද්ධ ස්ථානයන් ද අපට බෙහෙවින් වැදගත් වේ. මිහින්තලය අවට පිහිටි අප්‍රසිද්ධ ස්ථානයක් ලෙස – වසන්මලේ ලෙස හඳුන්වන ස්ථානය හඳුනාගත හැකිය. මෙම ස්ථානය ‘වසුම්මලේ’, ‘වසන්මලේ’ නමින්ද ‘රාස්සගල’ නමින්ද හැඳින් වේ. මෙය ගැමියන් අතර ප්‍රකට වන්නේ ‘චිත්‍රගල’ නමිනි. ඝන කැලෑවක් මැද පිහිටා ඇති මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා සිතුවම්, පොකුණු, ගල්ගුහා සහ වෙනත් නෂ්ටාවශේෂ දැකගත හැකිය. මෙය මුලින්ම අහම්බෙන් හමු වී ඇත්තේ 1988 දී ගවයන් ගෙනඑන්නට ගිය ගොවි මහතෙකුටය.

Caves-Mihintale-Vasammale-Anuradhapura-Sri Lanka-Archaeology.lk-Rasika Mutucumarana
වසම්මලේ ගල්ලෙන්

බුලන්කුලම වැව ඉස්මත්තේ පිහිටා ඇති මෙම ගල්තලාව දිගින් මීටර් 800ක් පමණ විහිදෙන අතර එහිද නැගෙනහිරට මුහුණලා පිහිටි බෙයදයේ නාග පෙනයක් මෙන් සෑදුණු ගල් ලෙන් 4ක් එක පෙළට දැකගත හැකිය. එතරම් ආනතියක් නැති මෙම ගල් ගුහා අතරින් එක් ගුහාවක කටාරමක් ද සහිත සිතුවමක් දැකගත හැකිය. අනෙක් ලෙනෙහි කටාරම් දැකගත නොහැක. මෙම සිතුවම අඩි 15ක් පමණ උසට හා අඩි 10ක් පමණ පළලකට විහිදී තිබෙනු දක්නට ලැබේ. මෙම ගල් ලෙන් සුළු ආනතියක් පවතින බැවින් ලෙනක් ලෙස අර්ථකතනය කිරීමට ද නොහැකිය. නමුත් මේ ගල් ලෙනේ ඉදිරියෙන් ගඩොලින් හෝ වරිච්චි බිත්ති බැඳ දැවයෙන් ආවරණයක් සකස් කළ ගල් ලෙනක් ලෙස භාවිත කරන්නට ඇතැයි සිතිය හැක. එසේ නිමකර තිබුණේ යෑයි සිතීමට හැකි සාධක ඒ අවටින් හඳුනාගත හැකිය. ඒ අතර ගඩොළු කැබලි, උළු කැබලි, මැටි බදාම කැබලි සොයාගත හැක.

කටාරමට යටින් ඇති කොටස කපා ඔප මට්ටම් කර චිත්‍ර නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. මෙහි දක්නට ලැබෙන සිතුවම්වලින් ඉතිරිව පවතින්නේ සුළු ප්‍රමාණයකි. ඉතිරිව ඇති සිතුවම් අතරින් පැහැදිලිව රූප දෙකක් පමණක් හඳුනාගත හැකිය. අනෙක් කොටස් බොහෝ සෙයින් විනාශයට පත්ව ඇති අතර එම ගල්ලෙනේ පහළම කොටසේ පමණක් සිතුවම් දැකගත හැක. හමුවන එම රූප දෙක ද දුර්වර්ණ වී ඇත. මෙම සිතුවම තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සුදු වර්ණයයි. බදාමයක් යොදාගෙන නිර්මාණය කර ඇත. සියුම්ව ගලමත එම බදාමය ආලේපකර ඇත. මෙලෙස නිර්මාණය කර ඇති මෙම සිතුවමේ කොටස් කිහිපයක් පමණක් අද හඳුනාගත හැකි වුවත් මෙම කොටස් එකිනෙකට ගැලපෙන එක් තේමාවක් යටතේ නිර්මාණය කර ඇති සිතුවමක් ලෙස තිබෙන්නට ඇති බව හඳුනාගැනීමට පුළුවන.

Mihintale-Vasammale-Fresco-Anuradhapura-Sri Lanka-Archaeology.lk-Rasika Mutucumarana
වසම්මලේ සිතුවම්

මෙහි ඇති සිතුවම් අතර නාගයෙකුගේ රූපයක් පැහැදිලිවම දැකගත හැකිය. එම සිතුවම් කොටසේ මැද ප්‍රදේශයේ නාගයෙකුගේ නාග පෙනයක් දැකගත හැකිය. එහි නාගයාගේ දිව එළියට දමා සිටින ආකාරය පෙන්නුම් කරයි. මාළු‍වෙකුගේ කොරපොතු මෙන් වෘත්තාකාර හැඩයකින් නාගයාගේ ශරීරයේ පිට ප්‍රදේශය නිර්මාණය කර ඇති අතර ඒ සඳහා රතු, කහ වැනි වර්ණ යොදාගෙන ඇත. එම නාග රූපයට ඉහළින් තවත් නාග රූපයක් දැකගත හැකිය. එය මුලින් සඳහන් කළ නාග රූපයට වඩා විශාලය. නාග රූපවල බඩ ප්‍රදේශය සමාන්තර කඩ රේඛාවක් මෙන් තිත් මඟින් විචිත්‍රවත්ව ඇඳ ඇත. එය සිතුවම පුරාම නාගයාගේ බඩ ප්‍රදේශයේ දැකිය හැකිය. එය සිතුවමට කලාත්මක බවක් එක් කරයි. 1988 දී මෙය සොයාගන්නා විට භික්ෂූන් වහන්සේ නමක් වටා මේ නාග රූප එතී සිටින ආකාරයට සිතුවම් කර තිබී ඇත. දිනෙන් දින විනාශ වන මේ සිතුවමේ අද ඒ කොටස විනාශයට පත්ව ඇත. මෙම නාග රූපවලට පහළම කොටසේ නාගයාගේ තවත් කොටසක් දක්නට ලැබෙන අතර දඟර ගැසූ ස්වභාවයකින් එය නිරූපණය කර ඇත. එහිද කඩඉරි මෙන් තිත් පේළි සමාන්තරව නිර්මාණය කර ඇත. මෙම රූපවලට පසුබිමෙහි වලාකුළු මෙන් යමක් සුදු පැහැයෙන් නිරූපණය කර ඇත. එම සිතුවමේ දකුණු පස අනෙක් කොටස් බෙහෙවින් විනාශ වී ඇති අතර එහි තැනින් තැන නාගයාගේ උදර ප්‍රදේශයේ පැවති කඩඉරි මෙන් විහිදුණු තිත් දැකගත හැකිය. ඒ අනුව එම කොටසේ ද නාග රූප කිහිපයක් පවතින්නට ඇති බව අනුමාන කළ හැක.

Naga Kanya-Mihintale-Vasammale-Anuradhapura-Sri Lanka-Archaeology.lk-Rasika Mutucumarana
කාන්තා රුව

මෙම නාග රූපවලට වම් පසින් පහළට වන්නට කුඩා කාන්තා රූපයක් දක්නට ලැබේ. ඇය ප්‍රලම්භපාද ආසනයෙන් වම්පසට මඳක් හැරී වාඩිවී සිටින ආකාරයක් නිරූපණය වේ. ප්‍රලම්භන ආසනය යනු පුටුවක් මත වාඩි වී සිටින ආකාරය නිරූපණය කිරීමයි. සිරුර ඉදිරිපසට පෙනෙන ලෙස නිර්මාණය කර ඇත. කාන්තාවගේ ඉන් පෙදෙස සීගිරි සිතුවම් මෙන් සිහින්ව නිර්මාණය කර ඇත. ඇයගේ වම් අතෙහි අත්ල උඩ යමක් තබාගෙන ඇත. එයට ඉහළින් නාගයෙකුගේ පෙනයක් දැකිය හැකිය. දකුණු අත උඩු කයට සමාන්තරව පහළට දිගුකොට ඇති අතර මැණික් කටුව ළඟින් ඇඟිලි සිරුර දෙසට හැරී ඇත. මෙම රූපයේ පාද වම්පසට හරවා ආසනයක වාඩි වී සිටින අතර පාද පහළට සිටින සේ නිර්මාණය කර ඇත. මෙම රූපයට ඉදිරියෙන් පාද පිහිටි ස්ථානයේ කුහරයක් නිර්මාණය වී ඇත. ඒ මත බදාම තවරා රූපය ඇද තිබෙන්නට ඇත. මෙම රූපයේ දෑත්වල වළලු නිර්මාණය කර තිබෙන අතර ඒවා තරමක් විශාලය. යටි කය ඉතා අලංකාර වස්ත්රයකින් (දෝතියකින්) වැසී තිබෙන අතර එය රැලිවලින් අලංකාර වී ඇත. එම ඇඳුම රතු මිශ්‍ර දුඹුරු පැහැයට සමාන වර්ණයකින් වර්ණකර ඇත. උඩු කයේ තනපටක් දැකගත හැකි අතර එය ද රතු පැහැයෙන් දක්වා ඇත. එය දුහුල් රෙද්දකින් නිර්මාණය කර ඇත්තේ විනිවිද පෙනෙන ආකාරයෙනි. හිස මඳක් ඉදිරියට නමාගෙන සිටින අතර හිසෙහි අලංකාර ශීර්ෂ පළඳනාවක් පැළඳ ඇත. කර්ණාභරණ දැකගත හැකි අතර ගෙලෙහි මාලයක් ද පැළඳ ඇත. සිරුරේ වර්ණය ලා කහ පැහැයක් ගන්නා අතර සිරුරේ අනෙක් ආභරණ, අැඳුම් පැළඳුම් තද රතු වර්ණයෙන් දක්වා තිබේ. සිරුර රේඛාවන් මඟින් මතුකර ඇති අතර එම රේඛා ඝනකමක් දක්නට නොමැතිව සියුම්ව නිර්මාණය කර තිබේ. එසේ රේඛා ඇඳීමේදී වැරදි සිදු වී ඇති තැන්වල ඒවා එසේම තිබියදී නිර්මාණය කර තිබේ. එම රේඛා තද රතු මිශ්‍ර දුඹුරු පැහැයකින් ඇඳ ඇත.

මුහුණේ ප්‍රසන්න හැගීමක් නිරූපණය කර ඇත. මුහුණේ අංග පැහැදිලිව හඳුනාගත නොහැකිය. සමස්තයක් ලෙස ගෙන බැලු කල සිරුරේ ලාලිත්‍ය කාන්තා රූපයේ නිවැරදි පරිමාණය, මුහුණේ ස්වරූපය ආදිය මඟින් මෙම රූපයේ සෞන්දර්යාත්මක බව නිරූපණය කර ඇත. මෙම රූපය බැලු බැල්මට සීගිරි අප්සරාවන්ට සමාන බවක් දක්නට ලැබේ. මෙම සිතුවම්වල පසුබිම නිර්මාණය කර ඇත්තේ රතු මිශ්‍ර දුඹුරු පැහැයකට හුරු වර්ණයකිනි. සිතුවම සඳහා රතු, කහ, කොළ සහ සුදු වර්ණ භාවිත කර ඇති අතර රතු සහ කහ වර්ණයට මූලිකත්වයක් දී ඇත. සමස්තයක් ලෙස බැලූවිට සිතුවමේ තේමාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නොහැකිය. එහෙත් මෙම රූප දෙස බැලීමේ දී මෙවැනි සිතුවමක් දැනට හමු වී ඇත්තේ පළමු වරට බැවින් මෙය නාග ලෝකයේ යම්කිසි අවස්ථාවක් නිරූපණය කරනවා විය හැකි බවට අනුමාන කළ හැකිය.

දුටුගැමුණු රජු රුවන්වැලි සෑයේ ධාතු නිධන් උත්සවයට අවශ්‍ය කටයුතු කරන අතර එහි තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතු ලබාදෙන ලෙස මහා සංඝයාට ආයාචනා කර ඇත. මහරහතන් වහන්සේලා එකල නාග ලෝකයේ තැන්පත් කර තිබුණු සර්වඥ ධාතු වැඩමවා ගෙනවිත් රජුට දීමට සැලසුම් කළහ. එම කාර්යය භාර වූයේ සොණුත්තර නම් මහරහතන් වහන්සේට ය. උන්වහන්සේ මහා සංඝයා වහන්සේගේ නියමය පරිදි නා ලොවට වැඩමකර නා රජු සඟවාගෙන සිටි සර්වඥ ධාතු වැඩමවා එන්නට කටයුතු කළ බව මහාවංසයේ විස්තර කර ඇත. එසේ ගිය අවස්ථාවේ සිදු වූ සිදුවීමක් මෙයින් නිරූපණය කරන බව අනුමාන කළ හැකිය. ඒ බව මහාචාර්ය ආරිය ලගමුව මහතා ද අදහස් ඉදිරිපත් කර ඇත.

මෙම සිතුවම සහිත ගල් ලෙනට පහළින් පර්වතය පාමුල ගලින් නිර්මාණය වූ පොකුණු දෙකක් දැකගත හැක. මෙය දෙකක් ලෙස සඳහන් කළත් මේ පොකුණු දෙකම එකට පිහිටා ඇත. එක් පොකුණක් කුඩා වන අතර අනෙක් පොකුණ තරමක් විශාල එකකි. කුඩා පොකුණ පිහිටා ඇත්තේ විශාල පොකුණට ආසන්නයේ ඉහළින් ගල්තලාව දෙසට වන්නටය. විශාල පොකුණ භික්ෂූන් වහන්සේලා ස්නානය සඳහා භාවිත කරන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම පොකුණට ජලය ලැබෙන්නේ වැසි ජලයෙන් බව පැහැදිලි වේ. එහි දී ගල් පර්වතයේ ඇති කුඩා පොකුණට මුලින්ම ජලය එකතුව පසුව විශාල පොකුණට ජලය එකතුවන ආකාරය දැකගත හැක. මෙම පොකුණුවලට ඉදිරියේ විශාල ගල්වලින් බැමි නිර්මාණය කර තිබුණු බව දැනට ඇති නටබුන්වලින් පැහැදිලිය. පොකුණු දෙක ඉදිරියේ නැගෙනහිර දෙසට වන්නට අඩි 50ක් පමණ දිග පළල ඇති චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් පැවති බව දැකගත හැක. එය ගල් තලාව මත පස සහිත පොළොවේ පිහිටා තිබේ. දැනට විනාශ වී ඇති මෙහි පාදමට යොදාගත් විශාල ගල් දැකගත හැකිය. මේ සියලු නෂ්ටාවශේෂ ඇතුළු වාස්තුවිද්‍යා නිර්මාණ දෙස විමසා බැලීමේදී පැහැදිලි වන්නේ මෙය සංඝාරාමයක් බවයි. එහෙත් මෙහි ඓතිහාසික පසුබිම දෙස විමසා බැලීමේදී මිහිඳු හිමි පැමිණීමටත් පෙර සිටම මිහින්තලය ප්‍රසිද්ධියට පත්ව ඇත. පණ්ඩුකාභය රජු කුඩා කාලයේ මාමා වරුන්ගෙන් ආරක්ෂාවීමට වසම්මලේ සැඟ වී සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ රජ කළ පළමු වැනි කාශ්‍යල රජු ද ආරක්ෂාවට මෙහි සැඟවී සිටි බවට විශ්වාස කෙරේ.

Mihintale-Vasammale-Pond-Anuradhapura-Sri Lanka-Archaeology.lk-Rasika Mutucumarana
ස්වභාවිකව ඇති වූ පොකුණක්

මෙම වටිනා වූ කලා නිර්මාණයන් අද බොහෝ විනාශයට පත් වී තිබෙන ආකාරය දැකගත හැක. තවත් කනගාටුවට කරුණක් වන්නේ වසම්මලේ නැමති ස්ථානය පිළිබඳ ව එහි අවට ජීවත්වන වැඩි පිරිසක් නොදැන සිටීමයි. පුරාවිද්‍යා බලධාරින්ගේ අවධානය යොමු වී නැති මෙම ප්‍රදේශය ඉක්මනින් සංරක්ෂණය කිරීමට භාජනය කළ යුතුව ඇත. මෙම ස්ථානයට පිවිසීමට හරිහැටි මාර්ගයක් පවා නොමැති අතර මාර්ගයේ රජරට විශ්වවිද්යාල ක්‍රීඩා පිටිය පසුකර යාපනය දෙසට කිලෙ‍ා්මීටරයක් පමණ යන විට වසම්මලේ නමින් පුවරුවක සඳහන් කර තිබේ. එහි පෙන්වන මාර්ගය ඔස්සේ ගමන් කරන අයෙකුට මඳ දුරක් ගියපසු අතරමං වනුයේ කැලෑව තුළ හරිහැටි මාර්ගයක් පෙන්වා නොමැති නිසාය. ප්‍රදේශයේ ගොවි මහතුන් තම ගවයන් ගාල් කරන්නේ ද වසම්මලේ ලෙන ආශ්‍රිත වනයේ ය. ඒ නිසා එහි දැඩි පරිසර හානියක් සිදු වේ. මෙම ප්‍රදේශයේ වන සතුන් බහුලව වාසය කරන නිසා ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එම වනසතුන් ඉලක්ක කර බැඳ ඇති ‘බඳින කඳන්’ වැනි දේවල්වලින්ද ආරක්ෂා විය යුතුය. සිතුවම් මත නරඹන්නන් විසින් විවිධ අකුරු ඇඳ තිබීමෙන්ද මේ වටිනා උරුමය විනාශයට පත් වී ඇත. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම ප්‍රදේශයේ ආරක්ෂාවට බලධාරින් කටයුතු කර නොමැති ආකාරය හඳුනාගත හැකිය. මෙයට පිවිසීමට මාර්ගයක් සකස් කර එහි ඇති වටිනා සිතුවම් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු ව ඇත. සිතුවම් ඇති ලෙනෙ විවෘත පැත්තෙන් පැමිණෙන හුළං වැස්ස නිසා සිතුවමට වන හානිය විශාලය. එහි නරඹන්නන් කුරුටුගෑම නිසා සිතුවමට වන හානිය ද වැඩි නිසා එහි ආරක්ෂාවට යම්කිසි ආවරණයක් යෙදීමේ අවශ්‍යතාව පවතී. අප උරුමයන් වශයෙන් කතා කළ යුත්තේ, ආරක්ෂා කළ යුත්තේ ප්‍රසිද්ධ උරුමයන් පමණක් නොවේ. එම උරුමයන් ආරක්ෂා කරගන්නා අතරම මෙලෙස වියෑකී යන උරුමයන් ද අප මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුව ඇත. මෙවැනි වටිනා උරුමයන් ආරක්ෂා කිරීමට බලධාරින් මෙන්ම පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අප සැමගේ ද පරම යුතුකමක් වේ.

Naga-Mihintale-Vasammale-Anuradhapura-Sri Lanka-Archaeology.lk-Rasika Mutucumarana
සිතුවමේ නාග හිසේ සමීප රුපයක්

මෙම www.archaeology.lk/Sinhala වෙබ් සංස්කරණය සඳහා ඡායාරූප – රසික මුතුකුමාරණ මහතාගෙනි.

මෙම ලිපිය පළමු ව 2015.12.16 දින දිවයින පුවත්පතේ බදාදා අතිරේකයේ පළ විය.