Home Blog Page 23

අතීත සංජානනය සහ ප‍්‍රතිනිර්මානාත්මක සංකල්පනය

රාජ් සෝමදේව

මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ෙකාළඹ.

Raj Somadeva-Archaeology-Sri Lanka
රාජ් සෝමදේව

සම්භාවනීය අමුත්තණි, කතුතුමියණි, ප‍්‍රිය මිත‍්‍රවරුණි,

අද දින මෙම සාහිත්‍ය කෘතිය එලිදක්වන මොහොතට දේශනයක් පැවැත්වීමට ආරාධනය කිරීම මම මහත් ගෞරවයක් ලෙස සලකමි. එහෙත් මට එය හැෙඟන්නේ තරමක අපහසු භාරදූර කාර්යයක් ලෙස ය. වෘත්තීය වශයෙන් පුරාවිද්‍යාවේ නියැලෙන්නෙකු ලෙස සෑම අවස්ථාවක දී ම මා මගේ දේශන ආරම්භ කරන්නේ පුරාවිද්‍යාවේ විෂයානුබද්ධ සීමාවන් තුළ පිිහිටා සිටිමින් වුව ද සිඳු මෙහෙසි කෘතියේ කර්තෘවර ප‍්‍රදීපාගේත් මා මිත‍්‍ර රත්නසිරිගේත් ආරාධනය නිසා ඒ සීමාවන්ගෙන් පිටතට පැමිණ අදහස් දැක්වීමට අද මට සිදුව තිබේ. නොදන්නා නොඇසු කාලයකට අයත් වූ ද කැඞී බිඳී සුන්බුන්ව ගියා වූ ද ගොරසැඬි දෑ සමග සහ නිරන්තරයෙන් කටයුතු කරමින් ඒ නො ඇසු නුදුටු කාලය ගැන යමක් කීමට අතිශය නීරස න්‍යායවාද සමග කටයුතු කරන පුරාවිද්‍යාඥයෙකුට ස්පන්දනය වන මානුෂික හැඟීම්වලින් පිරුනු ලාලිත්‍යමය සාහිත්‍ය නිර්මාණයක් ගැන විෂයබද්ධ ඇගයීමක යෙදීම කෙතරම් අසීරු කටයුත්තක් දැයි යන්න ඔබට යම් තරමකින් හෝ වැටහෙනු ඇතැයි මම සිතමි.

සිඳු මෙහෙසි කෘතිය විටින් විට මුල සිට අගට කිහිපවරක් කියැවීමෙන් අනතුරු ව ඒ ගැන පැවසිය යුතු කාරණයට අදාල ශාස්ත‍්‍රීය නිමිත්තක් සොයා ගැනීමට අවසානයේ දී මම සමත් වීමි. කතුවරිය විසින් සිය නිර්මාණය සඳහා තෝරා ගෙන තිබෙන සිද්ධිදාමය ගලා යාමට ඈ විසින් ගොනු කොට තිබෙන කාල – අවකාශය කෘතියට ආත්මය ලබා දුන් කතුවරිය හෝ ඒ ගැන කථා කරන මම හෝ ඊට සවන් දෙන ඔබ හෝ අන් කවරෙකු විසින් හෝ පසක් නොකරන ලද්දකි. එහෙයින් සිඳු මෙහෙසි කෘතිය ප‍්‍රදීපාගේ ස්වයංජනන ආත්මීය නිර්මාණ අනන්‍යතාව පිළිබිඹු කරන කෘතියක් වුව ද ප‍්‍රවේණියෙන් එය අයත් වන්නේ අතීතය ප‍්‍රතිනිර්මාණය කිරිමේ සම්ප‍්‍රදායට ය. පුරාවිද්‍යාඥයා ද අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහයක යෙදී සිටී. ඒ අතීතයට අයත් ද්‍රව්‍යාත්මක සාක්ෂි මත පිහිටා ඒ අනුව කටයුතු කිරීමෙනි. එහෙයින් එය ශාස්ත‍්‍රීය වූත් ආනුභවික වූත් විෂයමූලික ව්‍යායාමයකි. සිඳු මෙහෙසි කෘතියේ කතුවරිය ද අතීතය ප‍්‍රතිනිර්මාණය කළ හැකි තවත් මානයක් අප වෙත පෙන්වා දෙයි. ඒ සාහිත්‍යමය පරිකල්පනයයි.

මා මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ පුරාවිද්‍යාඥයා වුව ද අතීතය ප‍්‍රතිනිර්මාණ කිරීමේ දී ඔහුගේ දෘඪ ජීවමුක්ත න්‍යායවාද sindu-mehesi-geethangani-pradeepa-serasinhe-sinhala-novel-archaeeology-lkසහ ක‍්‍රමවේද අතර කිසියම් පරිකල්පනාත්මක තලයකට එලැඹෙන බවයි. පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපනයක මානුෂික අර්ථය වඩාත් උත්සන්න ලක්ෂ්‍යයකට ලඟා වන්නේ පුරාවිද්‍යාඥයාගේ උසස් ප‍්‍රතිභාපූර්ණත්වය එහි පදනම බවට පත් වූ විට ය. ඕනෑම විෂය මූලික බුද්ධිමය ව්‍යායාමයක් පිටුපස මනෝ මූලික ප‍්‍රවේශයක් පවතින බව ගැඹුරු විමර්ශනයක දී අප කා හටත් ප‍්‍රත්‍යක්ෂ වනු ඇත. අතීතයට අයත් සිද්ධියක් හෝ පුද්ගල චරිතයක් තේමාව ලෙස සැලකූ නිර්මාණශීලී සාහිත්‍ය පරිකල්පනය දී හෝ වේවා, ගෙවී ගිය කාලය සම්බන්ධයෙන් ගොඩ නගන අතිශය න්‍යායාත්මක ආනුභවික විෂයමූලික ව්‍යායාමයක දී හෝ වේවා සාහිත්‍යකරුවා මෙන්ම පුරාවිද්‍යාඥයා ද අතීතය පිළිබඳ සිය සංවේදීතාවේ ස්වරූපය කෙබන්ඳක් දැයි පිළිබිඹු කරයි. එහෙයින් අසංජානනීය කාල-අවකාශයක් සංජානන තලයකට පත්වන ආකාරය දෙස මදක් හැරී බැලීම මේ අවස්ථාවේ දී වඩා සුදුසු යැයි මවිසින් කල්පනා කරන්නේ එය ප‍්‍රදීපාගේ නිර්මාණ කෘතිය ඇගැයීමට තවත් කවුළුවක් තනනු ඇතැයි යන විශ්වාසය නිසාම පමණක් නොවේ.

නවකථාව හෝ වේවා සිනමා නිර්මාණ හෝ වේවා පසුගිය කාලපරිච්ඡේදය මෙ රට බිහි වූ ඇතැම් නිර්මාණවලට අතීතය යන තේමාව පසුබිම් වූ අතර තවදුරටත් එසේ වීමේ ප‍්‍රවණතාවක්ද දකින්නට තිබේ. වර්තමානයේ ජීවත් වන අපි සියලු දෙනා ම අතීතය ගැන යුහුසුළු වීමට පෙලැඹී සිටිමු. මෙහි දී අතීතය යනුවෙන් මා අදහස් කරන්නේ කෙනෙකුගේ මතකයට සෘජුව ම හසු නොවූ කාලයයි. පරමාදර්ශී ලෙස සලකන්නේ නම් සෑම පරම්පරාවක්ම ඔවුන්ගේ පූර්වප‍්‍රාප්තිකයින්ගේ ප‍්‍රවේණිය පිටපත් කිරීමේත් (duplication) ප‍්‍රතිනිෂ්පාදනය (reproduction) කිරීමේත් නියැලෙයි. අතීත කාමය හෙවත් නොස්ටැල්ජියාව පිළිබඳ කාංසාව අප තුළ සනාතනිකව පවතින්නේ මේ කරුණු පදනම් කොට ගෙන ය. අතීතය සිය නිර්මාණ ගොඩනැගීම සඳහා භාවිත කරන අන් අය මෙන්ම සිඳු මෙහෙසි කතුවරිය ද විවිධාකාර සමාජ-දේශපාලනික හැලහැප්පීම්වලට ගොදුරු වෙමින් ඒවා විඳ දරා ගනිමින් ජීවත් වීමට අප කාහටත් සිදුව තිබෙන කාලයක ඒ සියල්ල ගැන කිසිදු සංවේදීතාවකින් තොර ව සිය කෘතියට ඓතිහාසික කාල-අවකාශයක් පාදක කර ගෙන තිබෙන්නේ ඇයි ද යන ප‍්‍රශ්නය ගැන මම කල්පනා කළෙමි.

බැලූ බැල්මට ඉතා සරල වූත් එ මෙන්ම එම කෘතිය රසවිඳීමට කිසිසේත්ම අදාල නොවන්නා වූත් අනවශ්‍ය ප‍්‍රශ්නයක් ලෙස එය පෙනෙන්නට ඉඩ ඇතත් ඇත්තෙන්ම ඒ ප‍්‍රශ්නයට සොයා ගන්නා පිළිතුර තුළ කිසියම් ගැඹුරු දාර්ශනික චින්තාවක් ඇතැයි යන්න මම විශ්වාස කරමි. ඊට සවන් දීමෙන් එසේ සිතන්නට ඔබට ද පෙලැඹවීමක් ඇති වේ යැයි මම කල්පනා කළෙමි.

ඓතිහාසික අතීතය යනුවෙන් අපට දැනෙන්නේ අප විසින් සෘජුව ම ප‍්‍රත්‍යක්ෂ නොකළ කාලයට අයත් අනන්ත සිදුවීම් අතරින් මතකයේ රැඳුනු හෝ එසේ නොවේ නම් මතක තබා ගත හැකියාවකින් යුත් විශේෂ තෝරා ගැනීම් සමුදායයකි. එහෙයින් ඕනෑ ම ව්‍යුහගත වාස්තවික සමාජ අතීතයක විශිෂ්ටත්වය යනු ඒ සමාජය මගින් අතීතයෙන් ඉල්ලා සිටින අවස්ථා සහ සිද්ධි මත පදනම් වන ගොඩනැගීමක් ලෙස පිළිබිඹු වෙයි.

ව්‍යුහගත සමාජ අතීතය (formalized social past) යනු, එහි මතුපිටින් පෙනෙන පුද්ගලයින් සහ සිද්ධි ඉක්මවා යන ඇගැයුම් (norms), වටිනාකම් (values) සහ පර්යාවලෝකනවලින් (perspectives) සමන්විත වූවකි. අපට මෙය අපගේ ඓතිහාසික අත්දැකීමට අයත් එක් පැහැදිලි නිදසුනක් ඇසුරින් විමසා බැලිය හැකි ය. දුටුගැමුණු රජු යනු අපගේ වර්තමාන ව්‍යුහගත සමාජ අතීතය තුළ පිළිබිඹූ වන සවිස්තරාත්මක ඓතිහාසික අවධානයකි. සිත්තරුන් විසින් අඳින ලද පැරණි රජදරුවන්ගේ් කාල්පනික සිතුවම්වලින් අප තුළ හට ගෙන තිබෙන සංවේදනය නොවන්නට දුටුගැමුණු යන සංඥාව මගින් කිසිදු විශේෂ භෞතික රූපයක් අප තුළ සංජානනය නොවේ. ඊට ඔබ්බෙන් ඒ ඓතිහාසික චරිතය මගින් අප තුළ දල්වන්නේ එකී චරිතය වටා ගොඩ නඟා තිබෙන ඇගැයුම් සහ වටිනාකම් සමුදාය යි. ඓතිහාසික ලේඛන මගින් විස්තර කර ඇති පරිදි රට එක්සේසත් කිරීම, මහාස්තූප ගොඩනැගීම, පින්පොත් ලිවීම, ආදි සිදුවීම් අනුසාරයෙන් එරජුගේ භෞතික ස්වරූපය කුමක්ද යන තේරුම් ගැනීමට ඇතිවන පෙලැඹවීම අබිබවා එම ඓතිහාසික චරිතයේ පදනම මත විකාශය කෙරෙන අස්පෘෂ්‍ය සංකේතාවලියක් වෙත අප සංවේදී වේ.

dutugemunu-elara-combat-dambulla-sri-lanka
එළාර – දුටුගැමුණු යුද්ධය (දඹුළු විහාරෙය් සිතුවමකි)

ඇත්තෙන්ම අතීතය, වර්තමානය උදෙසා ආකෘතියක් බවටත් ඇගැයුමක් බවටත් පත්වන්නේ ඓතිහාසික වශයෙන් ගොඩ නගන්නා වූ ද පරම්පරාවෙන් පරම්පරාවට මතක තබා ගන්නා වූ ද එ වැනි සංකේත සහ එකී සංකේත අනුසාරයෙන් ගොඩ නගා ගන්නා සමාජ-දේශපාලනික ව්‍යාඛ්‍යානයි. අප තුළ පවතින අතීත සංවේදීතාව පිළිබඳ හැගීම සම්බන්ධයෙන් වැදගත් වන තවත් සංකල්ප දෙකක් මෙහි දී ඉස්මතු කිරීම සුදුසු යැයි මම සිතමි.

ඉන් පළමු වැන්න පෙළපත පිළිබඳ කල්පනාවයි. මා එම යෙදුම මෙහිදී භාවිත කරන්නේ ඉංග‍්‍රිසී භාෂාවේ එන geneaology යන පදයේ අර්ථය දැනවීමට ය. විශේෂයෙන්ම ජාතික රාජ්‍ය වර්ධනය වීම, ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුවක් තුළ සුළුතර වාර්ගික කොටස් බලවත් වීම හෝ බහු-සංස්කෘතික සංදර්භවල අන්තර්-වාර්ගික ආතතීන් වර්ධනය වීම, බලය නෛතීකරණය ආදී පුළුල් සමාජ-දේශපාලනික ක‍්‍රියාවලීන් තුළ එක් සංස්කෘතික අනන්‍යතාවන් බුක්ති විඳින ජනකණ්ඩායම් අතීතය යනු තමන් පිළිබඳ සමස්තාර්ථ අඛණ්ඩතාවක් (collective continuity) ලෙස කල්පනා කිරීම සුලභ අත්දැකීමකි. අපේ රටේ තිබෙන ඇතැම් සෙල්ලිපි මෙම අදහස් පිළිබිඹු කරන ඉතා හොඳ දර්ශකයකි. ක‍්‍රිස්තු වර්ෂයෙන් පළමු වන සහ දෙ වන සියවස්වල මෙ රට රචනා වූ ඇතැම් සෙල්ලිපි ඒවා කර වු රජු හඳුන්වා දීමේ දී ඒ සඳහා දීර්ඝ වැකියක් භාවිත කර තිබේ. තමා අහවල් රජුගේ මුණුබුරා බවත් අහවල් රජුගේ පුත‍්‍රයා බවත් එහි කියා තිබේ. ඉන් කියැවෙන්නේ අදාල රජුගේ පාරම්පරික අඛණ්ඩත්වය යි. පාලනයට තමන් සතුව ඇති බලයේ උරුමය නෛතීකරණය සඳහා අතීතයෙන් සිය පෙළපතට අදාල අඛණ්ඩත්වය උපුටා ගැනීම ඇත්තෙන්ම ඉතිහාසය ප‍්‍රාග්ධනයක් ලෙස සැලකීමෙන් අතීතය වර්තමානය මත ප‍්‍රක්ෂේපණය කිරිමකි.

අතීතය වර්තමානයට සංවේදී වන දෙවන ක‍්‍රමය නම් එය අඛණ්ඩ කාලප‍්‍රවාහයක් සේ සලකා කටයුතු කිරීමයි. ඔබ ඔතැන ම හිඳ ඔබේ ඉතිහාසය ගැන කල්පනා කරන්නේ නම් එය ඔබට දැනෙන්නේ විවිධ සිද්ධීන්ගේ දෛශික චලනයක් ලෙස ය. එ නම් අප‍්‍රමාණ සිද්ධි ගණනාවක් එකින් එක පිටිපස පෙළ ගැසී ඇති රේඛීය අනුපිළිවෙලක් පරිද්දෙන් ඈතක සිට මෑතක් දක්වා ගලා එන්නක් ලෙස ය. රජකාලේ, කෝපි කාලේ, සුද්දගේ කාලේ සහ අද කාලේ ආදී වශයෙන් භාෂාත්මක යෙදුම් අතීතයේ විවිධ කාලවකවානු හැඳින්වීමට සාමාන්‍ය ජනයා අතර භාවිත වන ආකාරය අපට සුපුරුදු ය. ඔවුන් තමන් සහජයෙන් ලද සංජානනය හරහා අතීතය පරිකල්පනය කරන්නේ එ ලෙස ය. රජ කාලයට පසු කෝපි කාලය පැවති බව දැනගැනීමෙන් අතීතය යනු සිද්ධි පිළිබඳ රේඛීය අන්වයක් බව ඔවුන් වටහා ගෙන තිබෙනු පෙනේ. මේ නිසාම අපට සෘජුව අත්දැකීමක් නොවූ කාලය ගැන අප කවුරුන් තුළත් යම් තිගැස්මක් තිබේ. එය මවිතය, කුතුහලය, කාංසාව ආදී නෙකවිධ මනෝභාව සමග පැන නගින සංකීර්ණ තත්ත්වයකි. අතීතය ගැන අප තුළ හට ගන්නා තිගැස්ම වනාහී ඉතිහාසය වර්මානයේ දී භාවිත කරන ආකාරයේ තීව‍්‍රතාව සහ ආකෘතියේ ස්වභාවය නිර්ණය කරන්නකි. අතීතය සම්බන්ධයෙන් නිර්මාණය වන මෙම තිගැස්මීය අගය (shock- value) අතීතයට එබී බැලීමේ පෙලැඹීමක් අප තුළ දල්වයි.

geethangani-pradeepa-serasinhe-sinhala-novel-sindu-mehesi-archaeeology-lk
ගීතාංගනී ප‍්‍රදිපා සේරසිංහ

මා කල්පනා ආකාරයට සිඳ මෙහෙසි කෘතිය විකාශය වන්නේ අතීතය පිළිබඳ කතුවරිය තුළ හට ගන්නා තිගැස්ම නිර්මාණාත්මක ඇගැයීමක් බවට පරිවර්තන කරන්නට ඇය විසින් දරන සාධනීය වෑයම හරහා ය. ඇය මෙම කෘතිය රචනා කරන්නේ අප කා හටත් සංජානනය වන වර්තමානය තුළ බැවින් තමා විකාශනය කරන අතීත සිදුවීම වර්තමාන පර්යාවලෝකනයෙන් බෙදා වෙන් කීරීමට ඇය සිය කෘතිය තුළ මහත් උත්සාහයක් දරා තිබේ. ඒ සඳහා කතුවරියගේ වෑයම ඇය භාවිත කොට තිබෙන පුද්ගලනාම සහ ඇතැම් වෙනත් භාෂාත්මක යෙදුම්වලින් තහවුරු වේ. අපට නුහුරුනුපුරුදු අතීතය අපට වඩාත් හොඳින් හුරු පුරුදු වර්තමානයට වඩා හාත්පසින්ම වෙනස්ය යන හැඟීමක් අප තුළ තිබේ.

ලෝවාමහාපායේ දැවැන්ත ගල්කණු යෝධයින් විසින් තනන ලද ඒවා යැයි සිතමින් ඒ නටබුන් ගොඩනැඟිලි ආස්වාදනය කරන අහිංසක බැතිමතුන් තවමත් අප අතර ජීවමාන ය. මෙම විෂයයට අදාල ව 1985 වසරේ දී අගනා පොතක් පළ කළ ෙඩ්විඞ් ලොවෙන්තාල් කියා සිටියේ අප සියලු දෙනාට අතීතය දැනෙන්නේ අපට නුහුරු විදේශීය රටක් ගැන හැගෙන අයුරින් බව ය. ඔහු සිය කෘතියේ උද්ධෘතය ලෙස යොදන ලද්දේ The Past is a Foreign Country යන පාඨය යි. සිඳු මෙහෙසි කතුවරිය සිය නිර්මාණය තුළ අප තුළ පවතින එම කාංසාව දුරු කරන්නේ මනුෂ්‍යත්වයට පොදු හැඟීම් සමුදායයක් ඓතිහාසික චරිතවලට ආදේශ කිරීමෙනි. කෘතියේ එන ශර්වරීලා වරුණදත්තා ඡත‍්‍රා ආදීන් අපට ආගන්තුක නොවන්නේ ඒ නිසායැයි මම සිතමි. එ මෙන්ම ඓතිහාසික තේමාවක් වර්තමාන අත්දැකීමක් බවට පරිවර්තනය කිරීමේ දී නිර්මාණකරුවෙකුට හැසිරිය හැකි වඩාත් පුළුල් සීමා මොනවාදැයි යන කාරණය මැනවින් අවබෝධ කර ගැනීමට සමත්වීම මෙම කෘතිය තුළ දක්නට තිබෙන එක් විශේෂ ප‍්‍රවණතාවකි. අවසාන වශයෙන් මා කිව යුත්තේ අප සියළු දෙනා මෙන්ම ප‍්‍රදීපා ද අතීතය දැකීමෙන්, පරිකල්පනය කිරීමෙන් යම් තිගැස්මකට ලක් වී ඇති බව යි. එහෙත් ඈ ඒ සම්බන්ධයෙන් අපට වඩා වෙනස් ඇගේ නිර්මාණාත්මක ආත්මය මගින් ඒ තිගැස්ම ආනන්දයක් බවට පත් කර තිබෙන නිසා ය.

ඉඳහිට දිනෙක ගමේ උපාසකම්මලා සමග අනුරාධපුරයේ වන්දනාවේ ගොස් කලබලවලින් මිදුනු මොහොතක තිසාවැවේ වැව් කණ්ඩිය මතට වී ඈත සිතිජයේ පෙනෙන මහවෙහෙරවල කොත් කැරළි බලමින් නිසොල්මනේ අතීතය ආනන්දයෙන් වැළඳ ගන්නා සේ සිතන්නට කතුවරිය අපට අතීතයේ එක් ඉසව්වක් සාහිත්‍යමය මාවතක් ලෙස නිමවා දී තිබේ. ප‍්‍රදිපා සිය කෘතිය අවසන් කිරීමට තෝරා ගත් ඡේදයෙන්ම මම මගේ කථාව අවසන් කරමි.

… ඉදින් නැඟ එන්නට තනන ඉර මඬලේ මුදු කිරණ තිසාවැවේ දිය මත රඟනු සියල්ලෝ නිහඩව බලා සිටිය හ.

ඔබට මෙවැනි නිර්මාණ බිහිකිරීමට තවත් තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ගීතාංගනී ප්‍රදීපා ෙස්රසිංහ විසින් රචනා කරන ලද සිඳු මෙහෙසි නවකතාව 2014 පෙබරවාරි 20 වන දින දොරට වැඩුෙම් දී සිදු කරන ලද ෙද්ශනය.

මහනුවර යුගයේ වානිජ රටාව තුළ භාවිත කාසි පිළිබඳ මූලික විමර්ශනයක්

ආර්. එම්. දිලිනි ලක්මාලි මෙස්ලින්කා

dilini-lakmali-meslinka-sri-lanka-archaeology-lk
දිලිනි ලක්මාලි මෙස්ලින්කා

ශ‍්‍රී ලාංකීය ඉතිහාසයෙහි අවසන් රාජධානි සමය වන සෙංකඩගල නොහොත් මහනුවර රාජධානයි ජීවමාන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධකයන්ගෙන් පොහොනි බිම්කඩකි. මෙම රාජධානි යුගය හා සබැඳි ආගමික හා ලෞකික ගොඩනැඟිලි පුරාවිද්‍යා ස්මාරක බවට පත්වෙමින් එහි අතීත ශ‍්‍රී විභූතිය තවදුරටත් ජීවමාන කරලන්නේ ය. දේශීය රජවරුන්ගේ මතු නොව, දකුණු ඉන්දීය නායක්කර් පරපුරෙහි ද, ඉන් නොනැවතී පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යන යුරෝපීන්ගේ ද අනුප‍්‍රාප්තික දේශපාලනික, සාමාජයීය හා ආර්ථික ප‍්‍රවේශයන් මහනුවර රාජධානිය කේන්ද්‍ර කොටගෙන විසරණය වූ අයුර ඓතිහාසික මූලාශ‍්‍රයෝ අපට පෙන්වා දෙත්. එම කාරණාවන් පුරාවිද්‍යාත්මක ව සනාත කරලන්නා වූ සාධකයක් ලෙස මෙ කල භාවිත කරන ලද කාසි පෙන්වාදිය හැකි ය.

මහනුවර රාජධානි සමය මූලික කොට භාණ්ඩ හුවමාරුව පදනම් කරගත් ආර්ථික රටාවක් මත යැපුණු බවට තොරතුරු ලැබෙත්. රාජකාරි ක‍්‍රමය හේතුකොටගෙන එදිනෙදා ආර්ථික හුවමාරු වල දී මුදල් භාවිතය බොහෝ දුරට මඟහැරුණු බවට සඳහන්වේ (පීරිස් 2001:104). තමන් උපයාගන්නා අතිරික්තය සිය අසල්වැසියා සමඟ හුවමාරු කරගත් කන්ද උඩරට වැසියාට කාසි භාවිතය සම්බන්ධ අවශ්‍යතාවක් නොවිනි. රට ඇතුළත කෙරුණු මෙම වෙළඳාමට පාත‍්‍ර වෙූය් එක් පළාතක උපදින හා අනෙක් පළාතේ නූපදින ද්‍රව්‍ය බව දහ හත් වැනි සියවසෙහි මැද භාගයේ දී මෙ රට වෙළඳාම සම්බන්ධයෙන් නොක්ස් සඳහන් කරලන්නේය (Knox 1989:277). තමන් වෙත වැඩිපුර ඇති දෙය වෙනුවට හිඟපාඩු දෙය හුවමාරු කරගැනීමට පුරුදු හෙයින් සිංහලයා මුදල් අතපත ගාන්නේ මඳ වශයෙන් බව ඬේව්ගේ විස්තරයේ තවදුරටත් සඳහන් වන්නේ ය (ඬේව් 2002:225).

උඩරට සිංහලයින් තුළ වෙළඳාම කෙරෙහි පැවති උදාසීනත්වයත්, තත් සමාජය වසා පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාවත් හේතුවෙන් කාසි භාවිතය උඩරට රාජ්‍ය තුළ එතරම් ප‍්‍රචලිත වූවත් නොවී ය. උඩරැටියන් වැඩිදෙනෙකුට වෙළහෙළඳාම ගැන වැඩි අවබෝධයක් නොතිබුණු හෙයින් ඔවුන්ගේ ගනුදෙනු වල අධිකත්වයක් හෝ විවිධත්වයක් දක්නට නොතිබුනු අතර, ප‍්‍රධාන වශයෙන් කෙරුණ ගනුදෙනුව වෙූය් යම් කිසි උවමනාවක් සඳහා මුදල් හෝ ධාන්‍ය හෝ ණයට ගැනීම ය. මුදල් අවශ්‍යය වූයේ සිය ප‍්‍රධානයන්ට ගාස්තු හෝ දඩ හෝ ගෙවීම හෝ රජතුමාගේ එ වැනි ම නියමයන් සපුරාලීම සඳහා ය (පීරිස් 2001:104). එබැවිනි “මේ රටේ කවර වර්ගයේ කාසි වුව ද හිඟ හෙයින් බොහෝ විට බඩු හුවමාරු කිරීමෙන් ගනුදෙනු කරනු ලැබේ” (Knox 1989:277) ලෙස නොක්ස් දක්වන්නේ.

මහනුවර රාජධානිය තුළට කාසි ක‍්‍රමයක් හුරුකරන ලද්දේ පහත රට මුහුදුබඩ කලාපයෙහි වෙළඳාම අත්පත් කරගෙන සිටි මලබාර් වෙළෙඳුන් විසිනි. එතෙක් උඩරැටියන් විසින් දේශීයව පුහුණු කරන ලද කාසි ක‍්‍රමයක් හෝ වර්ගයක් පිලිබඳ ව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. එ බැවින් උඩරැටියන්ගේ කාසි ක‍්‍රමය මූලික කොට ම විදේශීය ආභාසයන් මත ගොඩනැගෙන්නක් ලෙස හඳුනාගත හැකි ය.

ඒ අනුව, උඩරට රාජධානිය තුළ තත්කාලීන ව භාවිත වූ කාසි ලෙස හඳුනාගත හැක්කේ පනම්, ලාරින් හා තංගම වර්ගයේ කාසි ය. මේවා රන් හා රිදී ලෝහ දෙ වර්ගයෙන් නිෂ්පාදනය කරන ලද අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී රන් හා රිදී කාසි ලෙස හඳුන්වා තිබේ. මින් පනම් කාසි දකුණු ඉන්දීය ආභාසය හා වෙළඳාම හරහාත්, ලාරින් කාසි මුස්ලිම්වරුන් හරහාත් ලංකාවට ඇදී ආ කාසි වූ අතර, තංගම කාසි පෘතුගීසි ආභාසය මත ලංකාවේ භාවිතයට හඳුන්වා දෙන ලද කාසි විශේෂයකි.

පනම් කාසි

පනම් යන වචනය මුල්වරට සඳහන්වනේන් දොළොස් වැනි සියවසට අයත් දමිල සෙල්ලිපියක් වන බුදුමුත්තාව සෙල්ලිපියෙහි බව දැක්වේ. අනතුරුව ක‍්‍රිස්තු වර්ෂ 1344ට අයත් වන ඉබන් බතුතාගේ වාර්තාවේ මෙම කාසි පිළිබඳ ව සඳහන්වන අතර එ කල මෙම කාසියක බර ගේ‍්‍රන්ස් 5.8ක් විය (Shenoy 1941:13). දහසය වැනි සියවසෙහි මුල් දශකයේදී පෘතුගීසීන් මෙ රටට පැමිණි කල දේශීයව නිෂ්පාදනය කරන ලද වටිනාකමින් අඩු පනම් කාසි හම වු බව සඳහන් වේ (Codrington 1917:179). මෙ කල කන්ද උඩරට රාජ්‍යයෙහි හා කෝට්ටේ රාජ්‍යයෙහි මූල්‍යය ඒකක අතර පනම් කාසිය පැවති බවට රාජාවලිය අනුව තහවුරු වේ. බුවනෙකබාහු හා මායාදුන්නේ සොහොයුරන් ආරවුල් කරන්නට පටන් ගත් කල, උඩරට ජයවීර රජු ද මායාදුන්නේට අයත් සතර කෝරලය අවුල් කරන්නට වියග මායාදුන්නේ විසින් මෙම දේශපාලන ප‍්‍රයෝගය මැඩූ කල්හි උඩරට රජු මායාදුන්නේ හා සමඟි වීමට පනම් සාර ලක්‍ෂයක් ගෙවූ බව සඳහන් වේ (රා.ව. 1976:222). කෝට්ටේ පනම් කාසි උඩරට කාසිවලට වඩා අඩු වටිනාකමකින් මෙන්ම මිශ‍්‍ර රිදී වලින් තනා තිබේ (Codrington 1917:179). පනම යනු දමිල වචනයක් වන බව දක්වන කල්දේරා පවසන්නේ ඉන් ද්‍රවිඩ කාසි වර්ගයක් හඳුන්වන ලද බවයි (කල්දේරා 1959:23) මහනුවර රාජධානියෙහි අවසානය තෙක් මෙම කාසි වැහැරුණු බව සඳහන් වේ (එම) ක‍්‍රිස්තු වර්ෂ  1454 සහ 1505 දී මෙ රට රිදී පනම් කාසි මුද්‍රණය කරන ලද අතර ඒවා සිංහලයින්ගේ පනම් ලෙස හඳුන්වා තිබේ ((Sheony 1941:13).

මහනුවර රාජධානියෙහි සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් (ක‍්‍රි.ව. 1659-1679) රාජ්‍යයෙහි භාවිත වූ කාසි පිළිබඳ ව කරන විස්තරයේ දී පනම කාසිය රාජකීය කාසිය ලෙස හඳුන්වා තිබේ. “තුන් වැන්න රාජකීය කාසියකි. එය සාදාගන්නට අන් කිසිවෙකුට අයිතයික් නැත. කිසිවෙකු එය සාදා ගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔහු එය කළ යුත්තෙ මරණය වැළඳ ගැනීමට ද සූදානම්ව ය. මේ රාජකීය කාසිය “පනම” නමින් හැදින්වෙයි. එය පිත්තල බොත්තමක් තරමට කුඩාය. පනම් හැත්තෑ පහක්, අෙටි කාසියකට හෙවත් ස්පාඤ්ඤ ඩොලරයකට සමාන වන්නේය” (Knox  1989:277).

ලංකාවේ අච්චු ගැසූ මෙම පනම් කාසි පහළොස් වැනි ශත වර්ෂයේ මලබාරයේ “වීරරාය පනම්” අනුගමනය කිරීමෙන් නිපදවන ලදී. දහ හතර වැනි සියවසෙහි සෙල්ලිපිවල සඳහන් වන පනම් කාසි වෙළහෙළදාම නිසා ලංකාවේ ගනුදෙනුවල යෙදවුණු කාසි විශේෂයක් බවත් ඒ අනුව පහළොස් වැනි සියවසෙහි අවසාන භාගයෙහි පමණ පටන් ලංකාවේ ද පනම් කාසි අච්චු ගසන්නටත් පටන් ගත් බවත් පෙනේ. ධර්මකීර්ති ස්ථවිර විසින් කරවන ලද ගඩලාදෙණිය පර්වත ලිපියෙහි ද විහාර කර්මානත්යට වැය කරන ලද පනම් තුන්ලක්ෂයක් පිළිබඳ ව සඳහන් වේ (EZ. 1943: pp. 90-110). පෘතුගීසි තෝම්බු අනුව (ක‍්‍රි.ව. 1614) රිදී පනම් දොළහක් රිදී කොකු කාසියකට සමාන වූ බවත් දැක්වේ (කලේද්රා 1959:24). ලෝපෝ සූසා විසින් කෝට්ටේ ආසන්නයෙහි වරායන් හා ඉඩම් වලින් අයකරන ලද බදු සඳහන් වන්නේ ද පනම් වලනිි (Pieris 1992:137). දහසය වැනි සියවසේ දී ලංකාවේ භාවිත වූ පනම් කාසි සිංහල ප‍්‍රදේශ වලදී රීස් දහයක් ලෙස දල දමිල ප‍්‍රදේශ වල දී රීස් තිහක් ද ලෙස ගණනය කර තිබේ (Silva 2000:78).

පනම් කාසිවල

sinhala-silver-panama-kavan-rathnatunga
රිදී පනම කාසිය ( http://coins.lakdiva.org/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී)

අභිමුඛය : ඕවාකාර ව ඉහළට එසැවණුු ලම්බාකාර රේඛාවකි. එහි මධ්‍යයෙහි තිත් සලකුණක් වේ. පහතින් ඕවලාකාර ව පහතට හැරුණු රේඛා දෙකකි. ඒ මධ්‍යයෙහි දෙ පෙළකට යෙදූ තිත් සලකුණු මෝස්තරයකි. මින් මිනිස් රුවක් පෙන්නුම් කෙරෙන අතර, ඉහළ කොටස මිනිසාගේ හිස හා ඔසවාගත් දෙ අත් ලෙසත්, පහත කොටස හකුලාගත් දෙපා ලෙසත් හඳුනාගත හැකි ය. තිත් සලකුණු වලින් දැක්වෙන්නේ ඔහෙුග් ෙධාතිෙයහි මෝස්තරය විය හැකි ය.

ප‍්‍රතිමුඛය : කාසිය මධ්‍යයෙහි දකුණු පසින් ඉහළට හැරුණු සිහින් තිරස් රේඛාවකි. ඒ මධ්‍යයෙන් ඉහළට එසවෙන තිත් සලකුණු දෙකකින් ආරම්භ වන ලම්භාකාර රේඛා දෙකකි. පහතින් පේළි තුනකට යෙදූ තිත් හතර බැගින් වේ. මෙම සලකුණෙහි නිශ්චිත අදහස අපැහැදිලි ය.

කොඞ්රින්ටන් මහතා පැහැදිලි කරන අන්දමට පනම් කාසි නිර්මාණය වීමේදී මධ්‍ය කාලීන රන් කහවණුවෙහි ආභාසය ලබා තිබෙන අතර, මධ්‍ය කාලීන රන් කහවණුවෙහි දක්නට ලැබුණු සිටි රූපය අවසානයේ දී තිත් හා ඉරි ලෙස පනම් කාසියෙහි දක්නට ලැබේ (Codrington  1917:178).

ලාරින් කාසි

ඉන්දියානු සාගර කලාපයෙහි වර්ධනය වූ අරාබියානු හා පර්සියානු වෙළඳාමෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලාරින් කාසි වෙළඳාමට එක් විය. මෙය පර්සියන් ගල්ෆ් කලාපයෙහි සංසරණය වූ කාසි විශේෂයකි. කරමනියා කාන්තාරයෙහි අගනගරය වූ ලරිස්තානයෙහි නිපදවන ලද බැවින් මෙම කාසිය ලාරින් නමින් හඳුන්වන ලදී (Cunha 1995:40). අඟල් හතරක් පමණ දිග කම්බි කැබැල්ලක් හරි මැදින් දෙකට නවා මඳක් තලා පැතලි කරගත් එහි දෙපැත්තෙහි පර්සියානු හෝ අරාබි පාඨයක් සහිත කාසියක් වන මෙය කොක්කක හැඩය ගත් බැවින් කොකු රිදී නමින් මෙ රට දී හඳුන්වන ලදී (Codrington 1924:162). කාසිය දෙපැත්තෙහි වූ පාඨය වූෙය් “දෙවියන් වහන්සේගේ ධූතයා මොහොමදුය” “අලී දෙවියන් වහන්සේගේ මිත‍්‍රයෙකි” යන්නයි (කල්දේරා 1959:24). හෝර්මවුස් සෙරපීම් හා ලාරින් කාසි ඉන්දියාවෙහි බටහිර වෙරළෙහි හා අරාබියානු මුහුදු කලාපයෙහි ප‍්‍රධාන මූල්‍යය මාධ්‍යය ලෙස පැවතණු (Codrington 1924:92) හෝර්මවුස් ලාරින් නමින් හැදින්වෙන හෝර්මවුස්හි නිපදවන ලද කාසි වඩාත් විස්තීර්ණ ලෙස පැතිර තිබූ අතර, එය වර්ෂ 1507 දී සිදුවන ඇල්බුකර්ක්ගේ හෝර්මවුස් ආක‍්‍රමණයට ද හේතු විය. ටූරාන් ෂා (ක‍්‍රි.ව. 1543-1563) හා ෆාරුක් ෂා (ක‍්‍රි.ව. 1564-1601) නම් හෝර්මවසු් රජවරුන්ගේ කාලයන්හි හෝර්මවුස් ලාරින් ඉතා ඉහළ වැදගත්කමක් දැරූ බව සඳහන් වේ (Wood 1934:15-16) හෝර්මවුස් රජවරුන්ල බිජාපූර්හි පාලකයින්ල පර්සියාවේ ෂා රජවරුන් හා මාලදිවයිනෙහි සුල්තාන්වරුන් ලාරින් කාසි නිකුත් කර තිබේ (Codrington 1918:12). 17 වැනි සියවස දී ලාරින් කාසියක් දේශීය රීස් 100ට සමාන වූ බව දැක්වේ (Queyroz 1930:22).

ලාරින් පිළිබඳ ව මෙ රට මූලාශ‍්‍රයන්හි මුල්වරට සඳහන් වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1517 දී තරමේ ය. කෝට්ටේ රජු සීතාවක විසූ තම තරුණ වියේ දී මිනීමැරුමක් සඳහා ලේ මිල ලෙස ලාරින් පනහක් ගෙවූ අවස්ථාවක් පිළිබඳ ව පවසන කතාන්දරයක මෙම කාසි සඳහන් කරන්නේ ය (Pieris 1992:50). ක‍්‍රිස්තු වර්ෂ 1551 දී පෘතුගීසින් විසින් කොල්ලකන ලද කෝට්ටේ රාජ්‍යයෙහි වස්තුව අතර ද ලාරින් කාසි පිළිබඳ ව සඳහන් වේ ((Wood 1934:22). තම විජිතයෙහි මුදල් පරිහානිය නිසා දොන් ජුවන් ධර්මපාල රජු රිදී කඩුවක් හා කිරිච්චියක් ඉන්හෙම්ස් නැවේ කපිතන්ට දී ඉන් ලාරින් අච්චු ගසන්නට නියෝග කළ බව කූතෝ දක්වයි (Ferguson 1908:233). පනාව ප‍්‍රදේශයෙන් පෘතුගීසින්ට ගෙවන ලද කප්පම් ලාරින් 500ක් බව දැක්වේ (Pieris 1992:329).

larin-kandy-kavan-rathnatunga-sri-lanka
මහනුවර අවධිෙය් ලාරින් කාසි ( ෙමය http://coins.lakdiva.org/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

මහනුවර සමයෙහි අවසානයේදී ලාරින් කාසියක් තුට්ටු දහයකට දල ලාරින් කාසි පහක් රිදී පහේ කාසියක් හෙවත් පතාග කාසියකට ද සමවිය (කල්දේරා 1959:25). තව ද එ කල මෙම කාසිය හඳුන්වන ලද්දේ රිදී හෝ කොකු රිදී ලෙසිනි. නොක්ස් සඳහන් කරන අන්දමට “රජුගේ අවසරය ඇතිව හැම කෙනෙකුටම සාදා ගත හැකි කාසියක් ද මෙහි පරිහරණය විය. බිලි කොක්කක හැඩයෙන් යුත් මේ කාසියෙහි තමන් කැමති ලකණුක් යොදා ගන්නට දල එය සාදා ගන්නට ද අවසර ඇත්තෙය්ග රිදී කාසියක් අටේ කාසියට වඩා පැහැයෙන් හා සටහනින් දැකුම් කලූය. කාසියක් පිළිබඳ කිසියම් සැකයක් ඇති වුවහොත් එය ගින්නෙහි ලා රත්කොට නැවත සෝදාලීමෙන් පසු පිරිසිදු සුදු පැහැය නොගතහොත් එය වලංගු කාසියක් නොවනබව දැනගත හැකි ය” (Knox 1989:277). ෙම් අනුව, පෙනීයන්නේ මහනුවර රාජධානි සමයේ දී ප‍්‍රධාන මූල්‍ය ඒකකයක් බවට පත්ව තිබූ ලාරින් කාසි හොරෙන් මුදාණය කිරීම ද පැවති බවයි. අරාබියානු රටවල් සමඟ ලංකාවේ රජවරුන් පවත්වන ලද සබඳතා අසුන් වෙළඳාම මත පදනම් වූ හෙයින් ද මෙ සියවස වන විට ලංකාවේ බටහිර දිග වරායන් සාගරීය වෙළඳාම තුළ ජනප‍්‍රියත්වයක් ඉසිලූ බැවින් ද අරාබි කාසි බොහෝ සෙයින් ලංකාවේ බටහිර වෙරළාසන්නයෙන් ලැබීම ද ඔවුන්ගේ වානිජ සීමාව නියම කරන්නට ඉවහල් වෙයි (කලේද්රා 1959:26). වර්ෂ 1925 දී ගම්පොළ අසළ තිබී ලාරින් කාසි 819 හා වෙනත් කාසි 14 කින් ද යුත් නිධානයක් සම්භ විය. ලාරින් කාසි ලංකාවේ එක් තැනක තිබී හමු වූ විශාල ම තොගය මෙයයි (කල්දේරා 1959:26).

තංගම වර්ගයේ කාසි

දහහත් වැනි සියවසෙහි මැද භාගයේ දී පෘතුගීසින් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද තංගම නොහොත් ටැංගෝ මස්ස කාසිය ද උඩරට රාජධානෙියහි භාවිත කෙරුණු වලංගු කාසි අතර වූ බව නොක්ස්ගේ විස්තරයෙන් තවදුරටත් පැහැදිලිවන්නේය. “ලංකාවේ වලංගු වූ කාසි තුනක් වෙයි. එයින් එක් වර්ගයක් නම් පැත්තක රාජාභරණයක් ද, අනෙක් පැත්තෙහි දේව රූපයක් ද සලකුණු කොට ඇති පෘතුගීසි කාසියක් වූ ටැංගෝ මස්ස ය. මෙම කාසියේ වටිනාකම ඉංගී‍්‍රසි තඹයකි. මෙයින් අර්ධයක වටිනාකම ඇති කුඩා කාසියක් ද ඇත්තේය” (Knox 1989:277). මෙම විස්තරය අනුව තංගම කාසෙියහි, අභිමුඛෙයහි පෘතුගාල රාජ්‍ය ලාංඡනය හා ප‍්‍රතිමුඛෙය් ශාන්තුවර රූපය පැවති බැව් තහවුරු වන්නේ ය. පෘතුගීසින් විසින් මෙ රට භාවිතයට හඳුන්වා දෙන ලද තංගම කාසි අතර ශාන්තුවරුන් ති ෙදනෙකුගේ රුව රැගත් කාසි වෙත්. එනම්, ශාන්තුවර තෝමස්, ජොහාන් සහ පිලිප් ය. මින් ශාන්තුවර තෝමස් වර්ගය රන් කාසියක් වූ අතර, සෙසු දෙවර්ගය රිදී කාසි විය (Codrington 1924:104). මේ අතරිනුදු බහුල ව හඳුනා ගැනෙන්නේ ශාන්තුවර ජොහාන් තුමාගේ රුව රැගත් කාසි වන බැවින් නොක්ස් දක්වන්නේ එම වර්ගයේ කාසි පිළිබඳ ව බව සැලකිය හැකි ය. වඩාත් වැදගත් කාරණාව වන්නේ, පෘතුගීසින් විසින් මෙ රට භාවිතය සඳහා තංගම හා ද්විත්ව තංගම ලෙස කාසි වර්ග දෙකක් හඳුන්වා දෙන ලද අතර (Codrington 1914:21) නොක්ස් දක්වන ලොකු හා කුඩා ටැංගෝ මස්ස කාසි ද්විත්ව තංගම හා තංගම කාසි දෙ වර්ගය ලෙස හඳුනාගත හැකි වීමයි (මෙස්ලින්කා 2013:192).

පෘතුගීසින්ගේ පාලනය යටතෙහි ඔවුන් විසින් මෙ රට භාවිතයට නිකුත් කරන ලද රිදී කාසි දේශීය ලාරින් කාසි භාවිතයට සම කාලීන ව නිකතු් කළ බව අදහස් වේ (Lowsley 1895:223). පසු කාලීන ව ඔවුන් විසින් ලාරින් කාසිය අභාවිතයට යවා ඒ වෙනුවෙන් තංගම කාසිය මෙ රටට හඳුන්වා දෙනු ලැබී ය (Codrington 1917:180). කොකු හැඩයක් ගත් ලාරින් කාසියෙහි රූප විපර්යාසයකට ලක්කර වෘත්තාකාර කාසියක් ලෙස නිපදවන ලද අතර එය “තංගම” ලෙස විශේෂ නාම විපර්යාසයකට ද ලක්කරන ලදී. උඩරට රාජධානියෙහි භාවිත කරන ලද කාසි සම්බන්ධයෙන් සිදුකරන ලද මෙම විමසුමේ දී වඩා වැදගත් වන්නේ, පෘතුගීසින් විසනි් ලාරින් හෝ රිදී කාසිය තංගම කාසියට සමාන කර භාවිත කිරීම ආරම්භ කර තිබුණ ද තවදුරටත් එම කාසි මුල් ස්වරූපයෙන් භාවිත වූ බව හා හඳුන්වන ලද බව අනාවරණය කරගත හැකි වීමයි. කන්ද උඩරට රාජ්‍යයෙහි පැවති හුදකලා බව රටේ බලපවතව්න ලද ප‍්‍රධාන ආර්ථික ප‍්‍රවාහය හා එක්වීම යම්තාක් දුරකට පමාකරන ලද බව ඒ අනුව පෙනී යන්නේ ය.

ඉහත සාකච්ඡාවට ලක්කරන ලද කාසි තෙ වර්ගය හැර උඩරට රාජධානි සමයෙහි භාවිත වූ වෙනත් කාසි වර්ග පිළිබඳ ව තොරතුරු නොලැබේ. (දහ අට වැනි සියවසේ දී ලන්දේසින්ගේ බලපෑමෙන් හා පසු කාලීන ව ඉංග‍්‍රීසි බලපෑමෙන් උඩරට රාජධානෙියහි භාවිත කාසි පිළිබඳ ව මෙහි දී අවධානයට ලකේනාකෙරේ. මෙ කල පගෝද, සල්ලි හා තට්ටු ආදී රිදී හා තඹ කාසි භාවිත වූ බවට තොරතුරු ලැබේ.) භාණ්ඩ හුවමාරුව මත ම පදනම් වූ උඩරට සමාජය තුළ විනිමය මාධ්‍යයක් ලෙස කාසිවලට හිමිවූයේ ද්විතයී ස්ථානයකි. එ බැවින් එහි දක්නට ලැබුණේ කාසි භාවිතයෙහි හීනත්වයකි. අවසාන රජතුමාට කාසිවලින් ලැබුණු මුළු ආදායම රන් පවුම් 1,500ට වඩා වැඩි නොවූ බවට (ඬේව් 2002:225) එන සඳහන උපුටා දක්වන පීරිස්ගේ අදහස වන්නේ, “සෑම වර්ගයක ම කාසි හිඟවීම රජතුමාගේ මුදල් ආදායම සීමා කළ ප‍්‍රබල හේතුවක්” බවයි (පීිරිස් 2001: 106).

මහනුවර රාජධානිය වානිජ රටාව තුළ කාසි භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද මෙම මූලික අධ්‍යයනයේ දී, මූලික වශයෙන් භාණ්ඩ හුවමාරු ආර්ථික රටාවක් පුහුණු කළ උඩරට ජනතාවට කාසි භාවිතය සම්බන්ධ අවශ්‍යතාවක් නොවූ බව පෙන්වා දිය හැකි ය. එම උත්තේජනය ඔවුන් අතර ඇති කරවන ලද්දේ ශ‍්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම හා මෙ රටට අනන්‍ය වූ සම්පත් මතිනි. ඒ කෙරෙහි ෙලාල් විදේශීය වෙළෙඳුන් විසින් මෙ රට කෙරෙහි බලපවත්වන ලද වානිජ ආර්ථික රටාවෙහි ප‍්‍රතිඵලයක් ලෙස මුල්කොට මුහුදුබඩ කලාපය තුළ ව්‍යාප්ත වූ කාසි භාවිතයෙහි ආභාසය උඩරට රාජධානිය වෙතට ද ඇදීගිය ආකාරය පැහැදිලි ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • කල්දේරා, ලීලානන්ද (1959), ලංකාවේ මිල මුදල්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ඬේව්, ජෝන් (2002) II, ෙඩ්ව් දුටු ලංකාවල ඇලේලපොල, අනු. එච්.එම්. සෝමරත්න, විසිදුනු ප‍්‍රකාශන, බොරලැස්ගමුව.
  • පීරිස්, රැල්ෆ් (2001) II, සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය, විසිදුනු ප‍්‍රකාශන, බොරලැස්ගමුව.
  • මෙස්ලින්කා, ආර්.එම්.ඞී.එල්. (2013), ශ‍්‍රී ලංකාවේ භාවිත වූ පෘතුගීසි කාසි පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් (අමුද්‍රිත),  ශාස්ත‍්‍රවේදී ගෞරව උපාධිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද ස්වාධීන පර්යේෂණ නිබන්ධය.
  • රාජාවලිය (1997), සංස්. ඒ.වී. සුරවීර, ලේක් හවසු් ඉන්වෙස්ට්මන්ට් සමාගම, කොළඹ.
  • Codrington, H.W. (1914), Catalogue Of Coins In The Colombo Museum, Part I, Hertford,Stephen Austin and Sons Ltd.
  • Codrington, H.W. (1915), Coins of Some Kings of Hormous, Numismatic Chonicle, pp.157-159.
  • Codrington, H.W. (1917), Ceylon Numismatics, The Journal of The Royal Asiatic Society, Vo.xix,1915-1916, Colombo,The Colombo Apothecaries Co. Ltd., pp.169-186.
  • Codrington, H.W. (1918), Ceylon Numismatics, Colombo:The Colombo Apothecaris Co. Ltd.
  • Codrington, H.W. (1924), Ceylon Coins And Currency, Colombo, A. C.Richards, Acting Government Printers
  • Cunha, Gerson Da J. (1995) (Reprint), Contributions to The study of Indo- Potuguese Numismatics, New Delhi, Asian Educational Service.
  • Ferguson, Donald (1908), The Discovery Of Ceylon by The Portuguese In 1506, The Journal Of The Royal Asiatic Society, Vol.XIX, 1906-07, Colombo, H. C.Cottle Government Printers, pp.284-400.
  • Knox, Robet – (1989) (II), An Historical Relations Of The Island Of Ceylon, J. H. O. Paulusz(ed), Vol.II, Dehiwala, Tisara Prakasakayo
  • Lowesley, B. (1895), Coins of Ceylon, Numismatic Chronicle, Series iii,Vol.xv, pp.223-247
  • Paranavitana, S. (1943), Epigraphia Zeylanica,Vol.IV,London, Oxford University Pieris, P.E. – 1992(II), Ceylon The Portuguese Era, Vol.I, Tisara Prakasakayo Ltd, Dehiwala.
  • Queyroz Fr, Fernao da (1930), The Temporal and Spiritual Conquest Of Ceylon, S.G.Perera (Tr), A. C.Richards, Acting Government Press, Colombo.
  • Shenoy, B.R. (1941), Ceylon Currency and Banking, Green and Com.Ltd, London.
  • Silva, de G. P. H. S. (2000), August, History Of Coins And Currency In Sri Lanka: 3rd Century BC to 1998 AD, Central Bank Of Sri Lanka, Colombo.

දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්.

chandimaambanwala@yahoo.com

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

රටක හෝ යම් ජාතියක අනන්‍යතාව විදහා දක්වන්නේ එ රට හෝ ජාතිය සතු සංස්කෘතික හර පද්ධතිය හා උරුමය අනුව බව පිළිගත් කරුණකි. ජාතික උරුමය වනාහි රටක, ජාතියක හෝ නිශ්චිත භූමි ප‍්‍රදේශයක ජීවත් වන ජන සමූහයක හෘද සාක්‍ෂියයි. ශ‍්‍රී ලංකාවේ භූමියට සාපේක්‍ෂ ව බැලමේ දී මෙ රට සතු ව උරුමස්ථාන විශාල ප‍්‍රමාණයක් පවතින අතර ම එම උරුමය ශීඝ‍්‍රාකාරයෙන් විනාශයට පත් වීම ද දිනෙන්දින, පැයෙන්පැය අපට අත්විදීමට සිදු වී තිබෙන්නා වූ අමිහිරි සත්‍යයකි. මෙම ලිපියෙන් ද කීමට උත්සාහ දරන්නේ ද ඒ ආකාරයෙන් ලාංකික ජනසමාජයෙන් ගිලිහී ගිය එ බඳු ජාතික උරුමයක් පිළිබඳ ය.

අනුරාධපුර – ත‍්‍රිකුණාමල මාර්ගයේ නැතිනම් පැරණි පුත්තලම සිට ත‍්‍රිකුණාමලය දක්වා දිවෙන මහාමාර්ගයේ මිහින්තලය උප නගරය හා මහකණදරාව වැව පසුකර අනුරාධපුරයේ සිට කිලෝමීටර් 25ක පමණ දුරින් පිහිටා ඇති මැකිච්චාව නම් ගමේ ඇති පැරණි වැවක පිටවානේ සටහන් කර තිබූ, අදින් වසර දෙ දහසකට ආසන්න කාලයක් පැරණි සෙල්ලිපියක් පිළිබඳව ය මේ සටහන තැබෙන්නේ. පුරාවිද්‍යාව, ඉතිහාසය හා අභිලේඛන විද්‍යාව ආදි විෂයයන් හදාරන්නවුන් අතර පළමු වැනි ගජබා රජුගේ කාලයට අයත් (ක‍්‍රි.ව. 112-134) මේ ලිපිය පාලූමැකිච්චාව සෙල්ලිපිය යන නමින් ප‍්‍රසිද්ධ ය.

veva-palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-1
පාළුමැකිච්චාව වැවේ අද තත්ත්වය

මෙම සෙල්ලිපියේ සම්බන්ධ සොයාබැලීම් පිළිබඳ අතීතය විපරම් කරන විට ඒ අතීතය ද සියක් වසරක් ඉක්මවා ඇති බැව් පෙනේ. ලක්දිව විධිමත් ව සිදුකළ අභිලේඛන අධ්‍යයනයන්ගේ පුරෝගාමියෙකු වූ එඞ්වර්ඞ් මුලර් මහතා විසින් රචනා කොට 1883 ප‍්‍රකාශයට පත් කරන ලද Ancient Inscriptions in Ceylon කෘතියේ දී ද මේ ලිපිය පිළිබඳ ව අවධානය යොමු වී ඇත. එම කෘතියේ පාළුමැකිච්චාව සෙල්ලිපිය පිළිබඳ ව සටහනක් තබන ඒ මහතා මෙ සේ දක්වා ඇත.

“අනුරාධපුර – ත‍්‍රිකුණාමල පාරේ 16 වැනි සැතපුම් කණුව ආසන්නයේ පාරේ සිට යාර 120ක් පමණ දුරින් මැකිච්චාවේ පිටවානේ පිහිටි ගල්වානේ මෙම ලිපිය ඇත. මෙම ලිපිය හොඳින් ආරක්‍ෂා වී ඇති නමුත් මෙහි දක්වා ඇති වැව් දෙක පැහැදිළි ව හඳුනා ගැනීම දුෂ්කර ය.” (28 පිටුව)

බොහෝ දුරට සාර්ථක අන්දමින් මෙම ලිපිය කියවා අවබෝධ කර ගැනීමට මුලර් මහතා සමත් ඇති නමුත් ඔහුගේ කියැවීම සම්පූර්ණ වූවක් බව පෙනී යන්නේ නැත. ඔහු සිතන ආකාරයට මේ ලිපියේ පැරණි වැව් දෙකක් පිළිබඳ ව විස්තර ඇතුළු වී ඇති නමුත් පසු ව ඒ පිලිබඳ ව සිදුකළ අධ්‍යයන වලින් ඊට වෙනස් තොරතුරු අනාවරණය වී ඇත. නමුත් මුලර් මහතා මෙම ලිපියේ කර්තෘ පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කර ගැනීමට සමත් ව ඇත. එම ලිපියේ සාර්ථක පිටපතක් සකස් කිරීමට ද මුලර් මහතා සමත් වී ඇති බව උක්ත කෘතියේ අංක 10 යටතේ ප‍්‍රකාශයට පත් වී ඇති අභිලේඛන පිටපත පරික්‍ෂා කිරීමේ දි තහවුරු වේ. අභිලේඛන පිළිබඳ ව අධ්‍යයන සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී නොපැවති ඒ කාලයට සාපේක්‍ෂ ව මෙම ලිපිය පිළිබඳ මෙ තරම් සාර්ථක අන්දමින් වටහා ගැනීමට සමත් වීම පිලිබඳ ව ඒ මහතා ගෞරවයට බඳුන් විය යුතු ය.

eye-copy-e-muller-palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-2
එඞ්වර්ඞ් මුලර් මහතා විසින් සකස් කළ නෙත් පිටපත (1883)

ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වූ හැරි චාල්ස් පර්වියස් බෙල් මහතා පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් 1891 වර්ෂයට අදාළ ව ප‍්‍රකාශයට පත් කළ පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්ෂික පාලන වාර්තාවේ කණදරා කෝරළයට අයත් මෙම ලිපිය පිළිබඳ ව කෙටි සඳහනක් තබා ඇත්තේ පහත දැක්වෙන පරි දි ය.

“පුත්තලම – ත‍්‍රිකුණාමල මාර්ගයේ 63 වැනි සැතපුම් කණුව ආසන්නයේ පාළුමැකිච්චාව නම් ස්ථානයේ වනය තුළ ඇති අතහැර දමනු ලැබූ වැවක වානෙහි පේළි හයක ඉතා හොඳින් ආරක්‍ෂා වූ ගාමිණි අබය (I වැනි ගජබාහු) රජුට අයත් ගිරි ලිපියක් ඇත. (7 පිටුව)”

estampage-senarath-paranavitana-palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-3
පාළුමැකිච්චාව ලිපියේ ස්පර්ශ ලාංඡුන පිටපත (1912)

එයින් පසුව 1912 දී දොන් මර්තීනු ද සිල්වා වික‍්‍රමසිංහ මහතා විසින් Epigraphia Zeylanica (ලංකා සෙල්ලිපි සංග‍්‍රහය) කෘතියේ පළමු වැනි කාණ්ඩයේ ප‍්‍රමාණවත් විස්තරයක් සහිත ව මෙම ලිපිය ප‍්‍රසිද්ධියට පමුණුවා ඇත. ඔහු ප‍්‍රකාශ කරන ආකාරය අනුව, බෙල් මහතා විසින් තමාට සපයන ලද මෙම ලිපියේ ස්පර්ශ ලාංඡුන පිටපත හා නෙත් පිටපතක් අනුව මෙම ලිපිය කියවා සංස්කරණය කොට ඇත. වික‍්‍රමසිංහ මහතා දක්වන ආකාරයට, පේළි 6කින් යුතු මෙම ලිපිය අඩි 8ක දිගකින් හා අඩි 3 ½ක පුළුලකින් යුතු වේ. මෙහි පළමු පේළියේ 5, 6 හා 7 යන අක්‍ෂර හැර අනෙක් සියලූ ම අක්‍ෂර හොඳින් ආරක්‍ෂා වී ඇත. මෙම ලිපියේ අකුරු අගල් 4-7 දක්වා උස පරාසයකින් හා අගල් 2½-5 දක්නා පළලකින් යුතු වේ. වික‍්‍රමසිංහ මහතා විසින් දක්වා ඇති ස්පර්ශ ලාංඡන පිටපත හා දක්වා ඇති පෙළ අනුව මෙම ලිපිය පහත පරිදි ඉදිරිපත් කළ හැකි වේ.

පෙළ :

1 මහරජහ වහබයහ
2 මනුමරක තිස මහරජහ පුති
3 මහරජි ගමිණි අබයෙ උපල විබ
4 ජකහි වඩමණක වවි පච සහසි කහවණ
5 දරිය කණවය තුබරබ බුක සග
6 හටය චතිරි පචණි පරි

අර්ථය :

වසභ රජතුමාගේ මුණුපුරු වූ ද තිස මහ රජුගේ පුතු වූ ද ගමිණි අබය රජු කහවණු පන්දහසක් වියදම් කොට උපල කොටසෙහි වූ වඩමණක වැව කැණ තුබරබ (තුපාරාමයේ) භික්‍ෂු සංඝයා හට සිවුපසය ලබාගැනීම සඳහා පූජා කරන ලදී

මෙම ලිපිය අනුව ගාමිණි අබය නම් රජු විසින් උප්පල නම් ප‍්‍රදේශයේ තිබූ වඩමණක නම් වැව පන්දහසක වියදමින් ප‍්‍රතිසංස්කරණය කොට එහි ආදායම තුබරබ නැතහොත් ථූපාරාම විහාරයේ භික්‍ෂූ සංඝයාගේ සිවුපසය පරිභෝජනය සඳහා පරිත්‍යාග කළ බැව් දැක් වේ. මෙහි දැක්වෙන ගාමිණි අබය නම් රජු වහබ නම් මහ රජු ගේ මුණුපුරා බවත්, තිස නම් මහ රජුගේ පුතු බවත් දක්වා ඇත. මහාවංසය දක්වන ආකාරයට ලංකාවේ සම්මත රාජාවලිය තුළ මේ රජුන් ති දෙනා සැකයකින් තොර ව හඳුනා ගත හැකි වේ. ඒ අනුව, මෙම ලිපිය රචනා කර ඇත්තේ ගජබා රජු නමින් සාමාන්‍ය ජනයා අතර ප‍්‍රචලිත ගජබාහුක ගාමිණි අබය (ක‍්‍රි.ව. 112-134) රජු වන අතර ඔහුගේ පියා වන්නේ තිස මහ රජු ය. මෙම තිස රජු යනු අන් කිසිවකු නොව වංකනාසික තිස්ස (ක‍්‍රි.ව. 109-112) රජු යනුවෙන් ප‍්‍රචලිත රජු වන අතර සොළි රටින් පිරිසක් පැමිණ ලක්දිවින් 12,000ක සෙනඟක් එ රටට ගෙනගිය අපකීර්තිමත් පුවත නිසා මෙ තුමා අද ද ලක්දිව ජනයා අතර ප‍්‍රසිද්ධියක් හිමි කරගෙන ඇත. මෙම ලිපියේ රචකයා වන ගාමිණි අබය ගේ සීයා නැතහොත් මෙම ලිපියේ අන්වය අනුව පළමු දක්වන මහාරජු වන්නේ ලක්දිව වසභ නමින් ප‍්‍රකට රජු ය. වැලිපුර රන් සන්නස නැති නම් වල්ලිපුරම් රන් සන්නසේ දැක්වෙන මහරජ වහය නමින් ප‍්‍රචලිත වී ඇත්තේ ද මෙ තුමා ම ය. ලක්දිව විශාල පරිමාණයේ වාරිකර්මාන්ත ආරම්භ කළ රජු වශයෙන් ද මෙ තුමා ප‍්‍රසිද්ධියට පැමිණ ඇත. මෙම ලිපියේ දැක්වෙන ඥාති සබදතා ව පැහැදිළි වන තවත් ලිපියක් වන්නේ දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ වැදගත් ම තැනක ප‍්‍රදර්ශනයට තබා ඇති, රුවන්වැලි සෑ පුවරු ලිපිය යනුවෙන් ප‍්‍රසිද්ධ ලිපියයි. එ ලිපියට අනුව ද “වහබ රජහ මනුමරක තිස මහරජහ පුති මහරජ ගයබහු ගමිණි අබයෙ” යනුවෙන් මේ ඥාති සබඳතාව තහවුරු කෙරේ.

මෙම ලිපියේ ස්පර්ශ ලාංඡුන පරික්‍ෂා කරන විට දැක ගත හැකි වැදගත් කරුණකි, ලිපියේ හතර වැනි පේළිය අවසානයේ අවසාන අකුරු දෙක අතර මැද ඊට පහළින් සටහන් කර ඇති සංකේත ය. ඉරි දෙකක් උපකාරයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇති චතුරස‍්‍ර සටහනක් වශයෙන් මෙය දැකගත හැකි ය. මෙම කොටු සළකුණ පැරණි සෙල්ලිපි වල මුදල් ඒකකයක් වූ ‘කහවණු’ යන්න නිරූපණය කිරීම සඳහා සටහන් කර ඇති බව සෙල්ලිපි පරික්‍ෂා කිරීමේ දී පැහැදිලි වේ. මෙම ලිපියේ කහවණු පිළිබඳ ව දක්වා ඇති බැවින් එය තහවුරු කිරීම සඳහා මෙ වැනි සටහන් නිරූපණය කර ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප‍්‍රමුඛ අභිලේඛනඥයින් ගේ අදහසයි.

තරමක් දිගු මෙම විස්තරාත්මක වාර්තාව මගින් පූර්විකාව සපයා ගනු ලැබුයේ මෙම ලිපිය ආරම්භයේ දි දැක් වූ ආකාරයෙන් අද වන විට ලංකා වාසීනට මෙන් ම ලෝක ප‍්‍රජාවට ද අහිමි වී ගිය උරුමයක් පිළිබඳ ව දැක්වීම සඳහා ය. පාළුමැකිච්චාව යනුවෙන් ප‍්‍රචලිත මෙම ලිපිය අදවන විට සම්පූර්ණයෙන් ම පාහේ විනාශ කොට හමාර ය. මීට වසර දශක කීපයකට පෙර මෙම වැව ප‍්‍රතිසංස්කරණය කරන අවස්ථාවේ දී වැවේ වතුර මට්ටම ඉහළ නැංවීම සඳහා කොන්ක‍්‍රිට් බැම්මක් සකස් කර ඇත. මෙම කොන්ක‍්‍රිට් බැම්ම මෙම ලිපිය යට වන ආකාරයෙන් යොදා ඇති බැවින් මෙම ලිපියේ විශාල කොටසක් විනාශ වී ඇත. අද වන විට මෙම ලිපියේ ඉතිරි ව ඇත්තේ අවසාන පේළි දෙකේ අවසාන අකුරු කීපයක් පමණි. සෙල්ලිපිය පිහිටි ස්ථානය පරික්‍ෂා කරන විට පෙනී යන්නේ තරමක සුළු ආයාසයක් ගැනීමෙන් පමණක් වුවත් අදින් වසර 2000ක් පමණ පැරණි මෙම සෙල්ලිපිය ද ආරක්‍ෂා කරගනිමින් අදාළ බැම්ම ද සකස් කිරීමට හැකියාව පැවති බවයි. රටේ ජනතාවගේ අවාසනාවට හෝ අදාළ කටයුත්ත සිදුකළ නිළධාරීන් ඇතුළු අදාළ කාර්ය සමඟ සම්බන්ධ වී සිටි කම්කරුවන් ගේ අපරික්‍ෂාකාරී බව, නොසැලකිල්ල හා අතීතය රැකගැනීමේ කැක්කුමකින් තොර වීම නිසා මෙම වටිනා ලියවිල්ල මේ වන විට ජාතියට අහිමි වී අවසාන ය.

ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් බැලීමේ දී මේ සා විනාශයක් සිදු කළත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීනට දෝෂාරෝපණය කිරීමට තරම් අප ඉක්මන් වීම අවශ්‍ය නොවේ. කුමක් නිසා ද යත් පුරාවිද්‍යා නිළධාරීන්ගේ අධීක්‍ෂණය සහිත ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සෙල්ලිපි මත ම සිමෙන්ති බදාම අනන හා අනවන රටක, නැති නම් සෙල්ලිපි තුළ නිධන් ඇතැයි යන අවියත් මුග්ධ විශ්වාසය අනුව ගල්බෝර දමා හෝ යකුළු පහර දී සෙල්ලිපි වනසන මිනිසුන් සිටින රටක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මිනිසුන් සිදුකරන උරුම විනාශය පිළිබඳ කතාකිරීමෙන් කිසිදු පළක් නොමැති බැවිනි.

palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-4
මෑත කාලයේ සිමෙන්ති යොදා සකස්කර ඇති වැවේ පිටවාන
palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-5
සිමෙන්ති යොදා සකස්කර ඇති වැවේ පිටවාන හා පාළුමැකිච්චාව සෙල්ලිපිය පිහිටි ස්ථානය (මෙම ඡුායාරූපයේ සිටින තැනැත්තා පරික්‍ෂා කරන්නේ සෙල්ලිපිය තිබූ ස්ථානයයි)

gaminia_abeysiri_samaranayakeපෞරාණික වැදගත්කමින් යුතු මෙම සෙල්ලිපිය පිළිබඳ ව මෙම ලියුම්කරුගේ අවධානය යොමු කොට, අදාළ ක්‍ෂ්ත‍්‍ර නිරීක්‍ෂණ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මිහින්තලා පුරාවිද්‍යා කෞතුකාගාරයේ ස්ථාන භාර නිළධාරි ගාමිණි අබේසිරි සමරණායක මහතාට ස්තූතිය පුද කෙරේ.

අවලෝකිතේශ්වර බෝධිසත්ව සංකල්පය සහ තාරා දෙවඟන

අජිත් තල්වත්ත

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය, සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්.

ajiththalwatte@gmail.com

ajith-thalwatta-rajarata-university-of-sri-lanka
අජිත් තල්වත්ත

හැඳින්වීම

ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර සියයක් ගතවීමේන් පසු පවත්වන ලද දෙවන ධර්ම සංගායනාවේ ප‍්‍රතිඵලයක් ලෙස ථෙරවාදී සහ මහායාන යනුවෙන් ප‍්‍රධාන නිකාය දෙකක් ආරම්භ වූ බව පැහැදිලි ය. මෙම ප‍්‍රධාන බෙදීම සසුනේ චිර පැවැත්මට බෙහෙවින් බලපෑ ලද අතර ඒ හා බැඳුණු පිළිවෙත් හා සම්ප‍්‍රදායන්හී ද බොහෝ වෙනස්කම් දක්නට ලැබුණි. ක‍්‍රිස්තු පුර්ව තුන් වැනි සියවසේ මෙරට කේන්ද්‍රගත වූ බෞද්ධ සම්ප‍්‍රදාය ක‍්‍රමිකව විකාශනය වී වට්ටගාමිණි අභය රාජ්‍ය සමයේ ඇති වූ බෙදීම ශාසනික බෙදීමක් දක්වා වර්ධනය වීමට තදින් ම බලවේය. බුදු දහම මුල් කරගත් මෙරට පාලකයා මෙම බෙදීමට පක්ෂ විපක්ෂ වීමත් සමඟ නව සම්ප‍්‍රදායක් ද ගොඩනැඟුණි. ඇතැම් අවස්ථාවල ථෙරවාදය අභිබවා මහායානය ශීඝ‍්‍රයෙන් ලාංෙක්ය සමාජය තුළ ව්‍යාප්ත වූ බව වඩාත් පැහැදිලි ය. මහායානය තුළින් ප‍්‍රචලිත වූ බෝධිසත්ව සංකල්පය ලාංකීක සමාජයට ලබා දුන්නේ විශේෂ තත්ත්වයකි. මෙ මගින් විග‍්‍රහ කිරීමට අපේක්‍ෂා කරන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය ආරම්භය හා එය මෙ රට තුළ ස්ථාපිත වීමත් හා තාරා දෙවඟන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට අපෙක්ෂා කෙරේ.

සාකච්ඡාව

මහායාන බුදුදහම තුළ අවධානයට ලක්වන ප‍්‍රධාන ලක්ෂණයක් නම්, බෝධිසත්ව වන්දනාවයි. මෙ රට ඇති වූ මහායානික බලපෑම නිසා බෝධිසත්ව ඇදහීම් ප‍්‍රචලිත විය. ලංකාවේ ප‍්‍රචලිත වූ බෝධිසත්ව සංකල්පයේ ප‍්‍රභවය කෙ සේ සිදුවූවා ද යන්න විමසා බැලිය යුතු වේ. ථෙරවාදී හා මහායාන යන සම්ප‍්‍රදායන් දෙකේ ම අඩු වැඩි වශයෙන් එන සංකල්පයක් ලෙස බෝධිසත්ව සංකල්පය හඳුනාගත හැකි ය. “චතුර්විධ මාර්ග ඥානය ද, සර්වඥතා ඥානය ද බෝධි නම් වෙයි. එහි ඇළුණු බැවින් ද බුදුන් කෙරෙහි ඇති ව්‍යාකණ හෙයින් ද එතැන්හි බුජ්ක්‍ඩානක සත්වයයි ද, බෝධිසත්ව නම් ලෙස ජාතක අටුවා ගැටපදයේ සඳහන් වේ” (ජාතක අටුවා ගැටපදය, 1965, පිටු. 18 ). එහි බෝධි ශබ්දයෙන් මාර්ග ඥානය සහ සර්වඥතා ඥානය ගැනෙන බවත් සත්ත්ව ශබ්දයෙන් සත්ත, සත්භාව සහ සත්ත්ව යන අර්ථය අන්තර්ගත වේ (සාසනරතන, 1952, පිටු.211). බුද්ධඝෝෂ හිමියන් ප‍්‍රපංචසූදනියේ, බෝධිසත්ව යන්නෙන් දීපංකර පාද මූලයේ සිට බුද්ධත්වය පතා ගෙන ඒ ඒ ජාතීන්හි උපන් බෝධි සඳහා ඇළුණු තැනැත්තා යන අදහස දක්වන බවට කඹුරුපිටියේ වනරතන හිමියෝ පවසති (නව සංස්කෘති, 1986 පිටු.1). සම්මා සම්බුද්ධත්වය සඳහා බෝධිචින්තය ඇත්තා වූ ද සම්මා සම්බුද්ධත්වයට පත් වන බවට වෙනත් සම්බුදුවරයකුගේ නියත විවරණ ලද්දා වූ ද පාරමිතා පුරන්නා වූ ද බෝධිසත්ව භූමිවලට පිළිපන්නා වූ ද තැනැත්තා බුද්ධත්වය සඳහා කැප වූවෙක් බවයි. එ තුමා බෝධිසත්ව යනුවෙන් හදුන්වනු ලබන බව Alice Getty ගේ The Gods of Northern Buddhism කෘතියෙහි බෝධිසත්ව පිළිබඳ කළ නිර්වචනය මහාචාර්ය චන්දා වික‍්‍රමගේ උපුටා දක්වයි (වික‍්‍රමගේ, 2006, පිටු. 58). මෙම නිර්වචනය සඳහා හේතු වී ඇත්තේ ථෙරවාදී ඉගැන්වීම් බව කිව හැකි ය. පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බෝධිපත්තස්ස සතො, යනුවෙන් භයභෙරව සුත‍්‍රයේ දී බුදුන් වහන්සේ ම බුද්ධත්වය ලැබීමට පෙර බුද්ධත්වය නොලත් බෝධිසත්වයන් නොවූ මට මෙ වැනි අදහසක් පහළ වී යයි, දක්වන බව කඹුරුපිටියේ වනරතන හිමියෝ පවසති (නව සංස්කෘති, 1986, පිටු.1). ආරියපරියෙසන සූත‍්‍රයේත් තමන් බුදුවීමට පෙර බෝධිසත්වයකු වූ බව බුදු හිමි සඳහන් කරන බවත් බුද්ධ වංශය, ජාතක පාලිය, අංගුත්තරනිකායට්ඨ කථාව, ජාතකටඨකථාව, සුන්තනිපාත්ටඨකතාව හා මිලින්ද පඤ්ඤය බෝධිසත්ව යන වචනය යෙදී ඇති බව කතාවත්ථුප්පකරණයෙහි, ගෞතම බුද්ධාංකුරයන් බෝධිසත්වා යනුවෙන් හඳුන්වා තිබේ (සම්භාෂා, 1992, පිටු. 96). ඉහත සියලු කරුණු දෙස බැලිමේ දී අවබෝධ වන්නේ ථෙරවාදයට අනුව බෝධි යන්නෙන් බුද්ධත්වය ද ඒ බෝධි නම් වූ බුද්ධත්වයෙහි ඇළුණු තැනැත්තා බෝධිසත්ව යන්නෙන් ද අදහස් වන බව කිව හැකි ය.

tara-image-british-museum-sri-lanka-mahayanism
බ්‍රිතාන්‍ය ෙකෟතුකාගාරෙය් අැති ලංකාෙවන් ෙගන ගිය තාරා පිළිමය (https://commons.wikimedia.org අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

මහායාන බුදුදහම තුළ බෝධිසත්ව සංකල්පය හඳුනා ගත්තේ කෙ සේ ද යන්න විමසිය යුතු ය. මහායාන බුදුදහම අනුව සෑම මහායානිකයෙක් ම බෝධිසත්වයෙකි (ධම්මතිලක, 2008, පිටු.40). සමහර සත්වයෝ පරම අනුත්තර සම්‍යග් සම්බුද්ධ සර්වඥතාඥානය ලබා ගනු කැමැත්තෝ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුගමනය කොට සියලු සත්වයන්ගේ හිතසුව පිණිස ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්, දෙවිමිනිසුන් සහිත සකල ලෝක සත්වයාගේ විමුක්තිය පිණිස නිවන් ලැබීමට කැමති වූවාහු, තථාගතයන් වහන්සේ අපිරිමිත බලයෙන් යුක්ත වූ මහා ඥානය සොයමින් ත‍්‍රිවිධ ලෝකයෙන් එතෙර වන්නාහු ය. මොවුහු බෝධිසත්වයෝ ද මහාසත්වයෝ ද වන්නාහු ය”. යනුවෙන් මහායානිකයන්ගේ මූල සූත‍්‍රයක් වන සද්ධර්මපුණ්ඩරීකයෙහි බෝධිසත්ව යන්න නිර්වචනය කරන අයුරු සිරිසේන විතානගේ පෙන්වා දෙයි (එම, පිටු. 96). මෙයින් පැහැදිලි වන්නේ හීනයානයේ දී බුදුබව ලැබීමට පෙර බුදුන් වහන්සේගේ ආත්ම භවයන් බෝධිසත්ව සේ හැඳින්වුව ද, මහායානිකයන් බුදුබව පතන සියල්ලන් මෙනමින් හැඳින් වූ  බවයි. මහායාන බෝධිසත්වවරු සම්භෝගකාය ලෙස සුඛාඅක්‍ෂෝභ්‍යවතියෙහි වෙසෙති. ධ්‍යානි බුදුවරුන්ගේ පුත‍්‍රයන් වශයෙන් ඔවුහු සැලකෙති. ඒ අනුව, වෛරෝචන, රත්නසම්භව, අමිතාභ හා අමෝඝසිද්ධි ධ්‍යානි බුදුවරුන්ට පිළිවෙළින් සමන්තභද්‍ර, වජ‍්‍රපාණි, රත්නපාණී, පද්මපාරණි, අවලෝකිතේශ්වර හා විශ්වහරති යන බෝ්ධිසත්ව පුත‍්‍රයෝ වෙති. මොවුන් අතුරින් වඩා වැදගත් වන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ය.

බෝධිසත්ව සංකල්පය ආරම්භ වූයේ මහායානයේ ආරම්භයත් සමඟ ය. මෙම සංකල්පය ආරම්භ වූයේ කෙ දින ද යන්න නිශ්චිත තැතක් ක‍්‍රිස්තු වර්ෂ දෙ වැනි සියවසේ පමණ භාරතයේ හා අවට ප‍්‍රදේශයන්හි ආරම්භ ව පසුව වෙනත් රටවලට ද ව්‍යාප්ත වී ඇති බව පෙනේ. ගන්ධාරය කේන්ද්‍ර කරගෙන කණිෂ්ක රාජ සමයෙත් පසුව මහායානයේ ආරම්භය සිදු වී ඇති බව ඓතිහාසික වාර්තාවලින් එන තොරතුරු මගින් පැහැදිලි වේ. මහායානික අදහස් ප‍්‍රචලිත වීමට බලපෑ අනෙක් ඓතිහාසික සාධකය වයඹ දිග ඉන්දියාවේ සිට පැමිණි ආක‍්‍රමණිකයන්ගේ ආගම බුද්ධාගමේ මූලික ලක්ෂණයන්ගෙන් බැහැර ව තිබුණි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව නොසලකූ මිනිසුන්, වරින්වර පහළ වන රාම, ක‍්‍රිෂ්ණා වැනි විමුක්තිදායි දෙවියන් ලෙස සලකන ලදහ. ඓතිහාසික ගෞතමයන් වහන්සේ ආදීම බුද්ධ හෙවත් දෙවියන්ගේ අවතාරය ලෙස සලකනු ලදහ. බෝධිසත්ව සංකල්පය ආරම්භ වීමේහි ලා මූලික ඓතිහාසික සාධකය වූයේ වයඹ දිග ඉන්දියාවේ සිට පැමිණි ආක‍්‍රමණිකයන්ගේ බෞද්ධ ආකල්පයන් ය. බෝධිසත්ව සංකල්පය මහායානය ආරම්භයේ දී නොවුණ ද මෙම සංකල්පය ප‍්‍රභවය වූයේ භක්ති මාර්ගය හා විඥානවාදයේ මූලික ඉගැන්වීම් පදනම් කරගෙන ය.

ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිදුවූ මහින්දාගමනයත් සමඟ මෙ රට බුදු සමය ස්ථාපිත විය. ක‍්‍රිස්තු පූර්ව දෙ වැනි ශතවර්ෂයෙහි පමණ භාරතයේ ආරම්භ වූ සේ සැලකන බෝධිසත්ව සංකල්පය ඊට ආසන්න කාලයේ ම ශ‍්‍රී ලංකාවට ලැබෙන්නට ඇතැයි සිතිය හැකි බව සමහර වියතුන්ගේ මතය වේ (සාසනරතන, 1952, පිටු. 239). මෙම සංකල්පයේ ආරම්භය හා විකාශනය පිළිබඳ ව විමසීමේ දී බෝධිසත්වයින් පිළිබඳ ව විමසා බැලීම වැදගත් වේ. මෙයින් අනාවරණය වන්නේ බෝධිසත්වවරුන් වර්ග දෙකක් සිටින බවයි. පාලි බුදුසමයෙහි දැක්වෙන බෝධිසත්වවරුන්ට “මානුෂි බෝධිසත්වවරුන” ලෙස හඳුන්වයි. මහායානයේ ඉගැන්වෙන සම්භෝගකාය හා සම්බන්ධ බෝධිසත්වවරුන් “ධ්‍යානී බෝධිසත්වවරුන්” සේ හඳුනාගත හැකි ය (සංස්කෘති පුස්තකාලමාල, 1996, පිටු. 1). මහාචාර්ය කේ.එන්. ඕ. ධර්මදාසයන් විසින් දක්වන සඳහනට අනුව ථෙරවාදී මානුෂි බෝසත්වරුන් සහ මහායාන ධ්‍යානි බෝසත්වරුන් ලෙස කොටස් දෙකකට බෙදිය හැකි ය. ලක්දිව බෝධිසත්ව සංකල්පය ආරම්භ වන්නේ මානුෂි බෝධිසත්වරුන්ගෙන් බව පෙනේ. විපස්සි, වෙස්සභූ, කකුසන්ද, කෝණාගම, ගෞතම හා මතු බුදුවන මෛත‍්‍රි යන බෝසත්වරු මානුෂි බෝසත්වරුන් වශයෙන් වැදුම්පිදුම් ලබති. එම බෝසත්වරුන් අතරින් ද ලක්දිව වඩාත් ජනප‍්‍රිය වූයේ මෛත‍්‍රි බෝසත් සංකල්පය යි. බෞද්ධයන් මතු බුදුවන මෛත‍්‍රි බුදුන් දැක නිවන් දැකීමට කැමති වීම දැක්විය හැකි ය. සම්බුදුවරුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය දැක්වෙන චිත‍්‍රයක් කුණ්ඩක ලෙනෙහි පැවති බව විසුද්ධිමග්ග අටුවාවේ දැක්වෙන බව මහාචාර්ය චන්ද්‍ර වික‍්‍රමගේ පවසයි (එම, පිටු. 5). මේ අනුව, ලක්දිව බෝධිසත්ව සංකල්පයෙහි ආරම්භය ථෙරවාදය මූලිකව ක‍්‍රිස්තු පූර්ව 2 වැනි සියවස හෝ ඊට ආසන්න කාලය ලෙස සැලකිය හැකි ය.

ක‍්‍රිස්තු පූර්ව දෙ වැනි සියවසේ ලක්දිව බෝධිසත්ව සංකල්පය පිළිබඳ අදහස් පැවති බවට සාධකයක් ලැබේ. දුටුගැමුණු රජු රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ බෝධිසත්ව චිත‍්‍ර ඇදි බවත්, මතු බුදුවන මෛත‍්‍රි බෝසතුන්ගේ දකුණු අගසව් වන බවට දුටුගැමුණු රජු පත්වන බවත්, සද්ධාතිස්ස දෙ වැනි අගසව් වන බවත්, සාලිය රාජ කුමාරයා පුත‍්‍රයා වන බවත් කාවන්තිස්ස රජු සහ විහාර මහාදේවිය එම බෝසතුන්ගේ පියා හා මව වන බවත් මහාවංසයේ සඳහන පිළිබඳ ව මහාචාර්ය නන්දසේන මුදියන්සේ කරන අදහසින් ඉඟියක් ලැබේ (බෞද්ධ සංස්කෘතික වෙළුම, පිටු. 196). එය නම් බොසත් සංකල්පය එම වකවානුවේ සිට පවතින බවයි. දුටුුගැමුණු රජ පවුල මෛත‍්‍රිය බෝසතුන් සමඟ සම්බන්ධ කිරීමට මහාවංස කතුවරයා උත්සාහ දරා ඇත (මහාවංසය, පරි. 32. ගාථා. 81-83). ඒ බව සිංහල චූලවංශයේ ද සඳහන් වේ (ලගමුව, 1997, පිටු.39). මෙම සධක අනුව පැහැදිලි වන්නේ බුදුදහම ස්ථාපිතවී කෙටි කාලයක් තුළ බෝධිසත්ව සංකල්පය ලාංකික සමාජය තුළ ප‍්‍රචලිත වූ බවකි.

avalokitheshvara-kushtarajagala-sri-lanka-mahayanism-chandima-ambanwala
වැලිගම, කුෂ්ටරාජගල ෙබා්ධිසත්ත්ව රුවක්

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ දේශපාලන අදහස්වලට ද මහායානික බලපෑම් ගැබ් වී තිබේ. සිව් වැනි මහින්ද යුගයට අයත් යැයි සැලකෙන අභයගිරි විහාර භූමියේ තිබී සොයාගන්නා ලද අභිලේඛනයකින් මීට පැහැදිලි සාක්ෂි ලැබේ. අවලෝකිතේශ්වර ආදී ප‍්‍රධාන බෝධිසත්වවරුන්ට අමතර ව ජනයාගේ ගෞරවාදරය ලබන රජවරුන් බෝසත්වරුන් සේ සැලකීම මෙම කාලයේ ඇති විය. ලක්දිව නොබෝසත්හු නොරජ් වන්නේයි, (E.Z.Vol. II, p. 108). යනුවෙන් සඳහන් වීමෙන් පාලකයා කවරෙකු විය යුතු ද යන්න මනාව සනාථ වේ. මේ අනුව, පෙනී යන්නේ ශ‍්‍රී ලංකාවේ රජෙකු වීමට බෞද්ධයකු පමණක් නොව බෝධිසත්වයකු වීම ද අවශ්‍ය වූ බවයි. එම අභිලේඛනයෙහි උද්ගත වන අදහස නම් රජකමට පත්වන සියල්ලන් ම බෝධිසත්ව සංකල්පයේ විකාශනය සමඟ අවලෝකිතේශ්වර හා මෛත‍්‍රී යන බෝධිසත්වවරුන් සිංහල බෞද්ධ, දේශපාලන හා සමාජ සංකල්පය තුළට අන්තර් ග‍්‍රහණය වීමක් 14 වැනි සිවයසේ සිට 17 වැනි සියවස දක්වා සිදු විය. මේ අනුව, සත් වන සියවසේ සිට ලක්දිව බෞද්ධයා අතර ගෞරව බහුමානයට පත්වූ අවලෝකිතේශ්වර බෝසතුන් අවලෝකිතේශ්වර නාථ, ලෝකේශ්වර නාථ හෝ නාථ නමින් දේවත්වයට පත්වූ බව පෙනේ. මහනුවර රාජධානියෙහි නාථ දෙවියන් මෛත‍්‍රි බෝධිසත්වයන් හා බද්ධ ව එක දෙවි කෙනෙකු ලෙස පෙනී සිටි බව කිව හැකි ය.

බෝධිසත්ව සංකල්පය හීනයාන මෙන්ම මහායාන බෞද්ධයන් අතර ද බෙහෙවින් ප‍්‍රචලිත වූවකි. ථෙරවාදී බුදුදහමේ බෝධිසත්වයන් පිළිබඳ සඳහන් වන අදහස වඩාත් වර්ධනයට පත් කර ගත් මහායානිකයෝ එය බුද්ධත්වයටත් වඩා උසස් සේ සලකන්නට වූහ. බුදුබව ලැබීමෙන් නිවන් දැකීම මහායානිකයන්ගේ ප‍්‍රධාන සිද්ධාන්තයකි. මහායාන වාදයේ ආරම්භය නොතිබුණ බෝසත් සංකල්පය පසු කාලයේ දී ඇති වීමට භක්ති මාර්ගය හා විඥානවාදය හේතුවන්නට ඇත (සාසනරතන, 1952, පිටු.239). බෞද්ධාගම ඥනමාර්ගයෙන් ආරම්භ වූ භක්ති මාර්ගයට යොමු විය. මහායානවාදය වෙනස් වන සමාජ ආකල්පයන් සමග ඉදිරියට පැමිණියේ ය. මහායානවාදය භක්ති මාර්ගයෙන්, හින්දු ආකල්පවලට නැඹුරු වීම නිසා තුමු බෝධිසත්වයෝය යන අදහස් ඔවුන් තුළ ඇති විය. ක‍්‍රිස්තු පූර්ව දෙ වැනි සියවසයෙන් පසු ස්ථාවරත්වයට පත්වූ මහායාන බුදුදහමේ මූලික සංකල්පයකි බුද්ධ සංකල්ප ය. මෙකී බුද්ධ සංකල්පය නිසා බෝධිසත්ව සංකල්පය බිහි වී වර්ධනය වී බුදුරජාණන් වහන්සේටත් වඩා ඉහළින් වන්දනාමානයට බෝධිසත්වවරුන් පත්වූ බව මහායාන සංස්කෘතික සාහිත්‍යය විමර්ශනය කිරීමේ දී පැහැදිලි වේ (සම්මුති II, 2002ල පිටු.154).

මහායාන බෝධිසත්වවරුන් ගේ සංඛ්‍යාව අප‍්‍රමාණ ය. සමහර සූත‍්‍රවල ලක්ෂ ගණන් බෝධිසත්වරයෝ වෙති. අවලෝකිතේශ්වර යනු මහායානයෙහි උගන්වන පංචධ්‍යානි බුදුවරයන් අතරින් ප‍්‍රධානත්වයෙහි ලා සැලකෙන අමිතාභ නොහොත් අමිතායුෂ් (Bahattacliarya, 1985, p.32-45) බුදුවරයා වෙනුවෙන් මේ ලෝකයෙහි පෙනී සිටින, සියලූ සතුන්ගේ දුකට පිහිට වන බෝසත්වරයා ය (කුමාරජීව, 2000, පිටු.315). මහායානය තුළ ධ්‍යානි බෝධිසත්ව, මහා ස්ථාන, ප‍්‍රාජති ත්‍රෛලොක්‍යවිජයි යනුවෙන් හඳුන්වන බෝධිසත්වයන් අට දෙනෙකු ඇත. එ නම් අවලෝකිතේශ්වර, ආකාශගර්භී, වජ‍්‍රගර්භී, ක්ෂිති ගර්භී, සර්වානිවාරණ විෂ්කම්භි, මෛත‍්‍රිය, සමන්ත භද්‍ර සහ මංජු ශ‍්‍රී ලෙස දැක්විය හැකි ය. සියලු බෝධිසත්වවරයන්ගෙන් ප‍්‍රධාන වන්නේ අවලෝකිතේශ්වර සහ මංජු ශ‍්‍රී බවත් මොරටුවේ ශාසන රතන හිමි ගෙන හැර දක්වයි (සාසනරතන, 1952, පිටු. 243).

මහායාන බුදු සමයෙහි ප‍්‍රධාන තැනක් ගන්නා බෝධිසත්ව සංකල්පය යටතේ වඩාත් ජනප‍්‍රියත්වයට පත් වූයේ අවලෝකිතේශ්වර ය (JRAS, 1948, P.59). මෙ ලෙස දෙවියන් ලෙසින් බෝධිසත්ව වරයෙකු හැඳින්වීමට හේතු වූයේ බෝධිසත්වවරුන් ද දෙවිවරුන් මෙන් මහායානිකයන් විසින් ඇදහීම යැයි ගෙන හැර දැක්විය හැකි ය (සාසනරතන, 1952, පිටු.59). මෙම මහායාන බෝධිසත්ව සංකල්පයෙහි ජනප‍්‍රිය වූ අවලෝකිතේශ්වර ඇදහිල්ල ආසියාතික රාජ්‍යයන් රාශියකට වර්ධනය වෙමින් ව්‍යාප්ත විය (බෞද්ධ රාජධානි පිළිබද තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව, 1958, පිටු. 62). මෙම වන්දනය ලංකාව, නේපාලය, තායිලන්තය, බුරුමය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, කොරියාව සහ මොංගෝලියාව ආදී රටවල පැතිර ඇති බව පෙනේ.

අවලෝකිතේශ්වර නැමැති සංගෘහිත වාදය අවලෝ්කිත, ඊශ්වර යන වචන දෙකින් යුක්ත බව බැලූබැල්මට පෙනේ. අවලෝකිත – ඊශ්වර යන සංස්කෘත පද දෙක සන්ධි වීමෙන් අවලෝකිතේශ්වර යන්න සෑදී ඇති බවට බොහෝ උගතුන් විසින් විවරණ සපයා ඇතත්, චීන බෞද්ධ ග‍්‍රන්ථවල එය අවලෝකිත – ස්වර යන වචන දෙකේ එකතුවක් ලෙස සලකා ඇති බව පෙනේ (සුමනසිරි, 2002, පි.2). අවලෝකිතස්වර, අවලෝකිතේශ්වර නාථ, ලෝකේශ්වර, ආරෝග්‍ය ශාලා නාථ, ෙභෙසජ්ජගුරු යන නම් කිහිපයකින් ම මේ බෝධිසත්වයන් හැඳින්වේ. මෙම සංයුක්ත නාමයේ අර්ථය විවිධ පඬිවරුන් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කරනු ලැබේ. අප දන්නා දැයෙහි අධිපති, පාදූර්භූත හෝ හැම තැන ම දක්නට ඇති අධිපති, ඉහළින් දක්නා ලබන අධිපති, බාලාවදාරණ අධිපති, කාරුණික බැලූම් හෙළන අධිපති, දකින උතුමා, පෙනෙනන්ට තිබෙන දැයෙහි අධිපති, දෘශ්‍යමාන හෙවත් වෘත්තියක් ව සිටින උතුමා, කාරුණික බැලුම් හෙළන උතුමා, සමස්ත විශ්වය ම බලන ප‍්‍රධානියා එකී නිර්වචනවලින් සමහරකි (එම, පිටු. 12). ඉන්දු, චීනය, සියම, කාම්බෝජය, සහ ජාවා යනාදී රටවල ඔහු ලෝකේශ්වර නමින් හැඳින්වේ (ලගමුව, 1997, පිටු. 24). අවලෝකිතේශ්වර චීන බසින් නම් කොට ඇත්තේ (Guan-shi-yin) (හුවාන් ෂින් යින්) යනුවෙන් ද ජපානයේ ක්වාන් නෝන් (Kwan Non) යනුවෙන් ද හැඳින්වේ (සාසනරතන, 1952, පිටු.206). මහායානිකයන්ගේ විවිධ බොහෝ බෝධිසත්වයෝ අතර අවලෝකිතේශ්වර භෞතික නිර්මාණයකි (Winternitz, 1925, P.38). අමිතාභ ධ්‍යානි බුදුරදුන්ගේ ප‍්‍රතිබිම්භය සේ පහළ වූ බෝධිසත්වයකු ලෙස ද මෙ තුමා හඳුන්වයි. විශ්වයේ නිර්මාපකයා මෙන් ද, බෞද්ධයන්ගේ හා බුද්ධ ධර්මයේ ආරක්ෂකයා මෙන් ද මෙ තුමා පෙනී සිටියි.

අවලෝකිතේශ්වර වන්දනාවේ විකාශය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී මහායාන ධර්මයේ වර්ධනයත් සමඟ අවලෝකිතේශ්වර චරිතය වර්ධනය වූ බවට පැහැදිලි සාක්ෂි හමු වේ. මුල් ම මහායානික ග‍්‍රන්ථවල මෙම නාමය පවා සඳහන් නොවේ. එහෙත් පසු කාලීන ව බිහි වු කෘතිවල මොහු පිළිබඳ ව විස්තර අඩංගු වේ (Encyclopeadia of Buddhism, 1985, P.409). සුඛාවතී ව්‍යුහ සූත‍්‍රය මෙ තුමා හඳුන්වන්නේ (Son of the Buddha) බුදුන්ගේ පුත‍්‍රයතු ලෙසයි (Ibid, P.410). මහායාන ධර්ම සංවර්ධනයේ දී අවලෝකිතේශ්වර චරිතයේ වර්ධන අවස්ථා පැහැදිලි ව හඳුනාගැනිමට ලැබේ. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ඉන්දියාව තුළ ආරම්භ වී ප‍්‍රචලිත වීමට ඉවහල් වූ කරුණු සොයා බැලිය යුතු ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ මානුෂිය ගුණාංග යටතේ අතිමානුෂීය ගුණාංග වර්ධනය වන්නට සැලැස්වූයේ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු භාරතයේ ඇති වූ බ‍්‍රාහ්මණ, දේවවාදී ආගමික ඉගැන්වීම්වලට ශක්තිමත්ව මුහුණ දීමේ අවශ්‍යතාව ඇති වූ නිසා ය. එහි දී අපේක්ෂිත තත්ත්වයට වඩා හාත්පසින් වෙනස් වූ තත්ත්වයකට බුද්ධ සංකල්පය පිළිබඳ අදහස් ක‍්‍රමයෙන් යොමු වී වර්ධනය වීමත් ඒ ආශ‍්‍රය කරගෙන බෝධිසත්ව සංකල්පය ද වර්ධනය විය. කාලීන අවශ්‍යතා සපුරාලීමට ප‍්‍රමාණවත් තරම් ශක්තිමත් වූ බෝධිසත්වවරයෙකු සිටීමේ වැදගත්කම අවබෝධ කරගත් බෞද්ධයෝ ඒ සඳහා අවලෝකිතේශ්වර චරිතය වර්ධණය කර ගැනීමට තැත් කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අවලෝකිතේශ්වරගේ චරිතයෙහි බ‍්‍රාහ්මණ දේව ගුණ හා බුදුරජාණන් වහන්සේගේ ගුණ විශේෂයෙන් දක්නට ලැබුණි. මේ නිසා බ‍්‍රාහ්මණ ආගමික ඉගැන්වීම් හා ඉතිහාස කතාවන්හි සඳහන් වන විවිධ අංගෝපාංග හා චරිත ද බුදුරජාණන් වහන්සේගේ මානුෂික ගුණ විශේෂයන් හා එ තුමාගේ චරිතය හා සම්බන්ධ විවිධ සිදුවීම් ද සංකලනය වීමෙන් අවලෝකිතේශ්වර සංකල්පය පුමුඛ බවට පත්විය (සම්මුති II, 2002, පි.160).

භාරතයේ මෙ තුමා අදහන්නට පටන් ගත් කාලය නියත වශයෙන් කිව නො හැකි ය. එහෙත් ක‍්‍රිස්තු වර්ෂ 3 වැනි ශතවර්ෂය වන විට මෙ තුමා ඇදහීම භාරතයේ සමාන්‍ය සිද්ධියකි (සාසනරතන, 1952, පිටු.221). හත් වැනි ශතවර්ෂය වන විට බොහෝ බෞද්ධ රටවල අවලෝකිතේශ්වර අදහන ලද බැව් පාහියන්ගේ වාර්තාවෙන් පැහැදිලි වේ (බෞද්ධ රාජධානි පිළිබද තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව, 1958, පිටු. 62). මහායාන බුදු සමයෙහි ප‍්‍රධාන තැනක් ගන්නා බෝධිසත්ව සංකල්පය යටතේ වඩාත් ජනප‍්‍රියත්වයට පත් වූයේ අවලෝකිතේශ්වර නාථ දෙවියන් ය (Paranavithana, 1953, P.59). මෙ ලෙස දෙවියන් ලෙසින් බෝධිසත්වවරයෙකු හැඳින්වීමට හේතු වූයේ බෝධිසත්වවරුන් දෙවිවරුන් මෙන් මහායානිකයන් විසින් ඇදහීම යැයි ගෙනහැර දැක්විය හැක (සාසනරතන, 1952, පිටු. 243). මෙම මහායාන බෝධිසත්ව සංකල්පයෙහි ජනප‍්‍රිය වූ අවලෝකිතේශ්වර නාථ දේව ඇදහිල්ල ආසියාතික රාජ්‍යයන් රාශියක ජනප‍්‍රියත්වයට පත්වූ බවට සාධක ඇත. ථෙරවාද වේවා මහායාන වේවා බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාව ආරම්භ වී ව්‍යාප්ත වීමේ දී දක්නට ලැබුණු ලක්ෂණ කිහිපයකි. එනම්,

  1. ලෞකික ලෝකෝත්තර දෙඅංශයෙහි ම ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටීම
  2. ඒ ඒ අවස්ථානුකූල ව විවිධ ස්වරූප ගැනීමේ හැකියාව
  3. ඉතා සරල ආමන්ත‍්‍රණයකින් වුවද පිහිට ලබා ගැනීමේ හැකියාව
  4. එදිනෙදා පොදු හෝ පෞද්ගලික ප‍්‍රශ්නවල දී මානසික සුවයක් ලබා ගැනීමට හැකි වීම
  5. ඒ ඒ දේශයට ගැලපෙන අයුරින් වන්දනය කිරීමේ හැකියාව (එම, පිටු.243).

මෙම ලක්ෂණ නිසා ජනතාව අතර ජනප‍්‍රියත්වයට අවලෝකිතේශ්වර පත් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම බෝධිසත්වයන්ගේ චිත‍්‍ර, ප‍්‍රතිමා නිර්මාණ කිරීමට ද කලාකරුවෝ උත්සාහ දැරූහ. එහි දී මහායානිකයෝ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ රූප ස්වභාවය මගින් මහායානික අදහස් ක‍්‍රියාවට නැංවීමට උත්සාහ දැරූහ.

මේ අයුරින් ආරම්භ වූ මෙම බෝධිසත්ව සංකල්පය ලාංෙක්ය හර පද්ධතිය තුළට ප‍්‍රවිෂ්ට වූයේ කෙසේ ද යන්න අවබෝධකර ගත යුතු ය. ලක්දිව මහායාන අදහස් බලපාන්නට වූ විට අවලෝකිතේශ්වර ඇදහිල්ල ද පැතිර ගියේ ය (වික‍්‍රමගමගේ, 1996,පිටු. 5). ක‍්‍රිස්තු වර්ෂ හත් වැනි ශතවර්ෂය වන විට බොහෝ බෞද්ධ රටවල් අවලෝකිතේශ්වර අදහස ලද බැව් ෆාහියන් (බෞද්ධ රාජධානි පිළිබද තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව, 1958, පිටු. 146-147). හා හියුංසියෑන්ගේ වාර්තාවලින් පෙනේ. මෙ රට අවලෝකිතේශ්වර ඇදහිල්ල පිළිබඳ ව අධ්‍යයනය කළ ආචාර්ය ජේ.සී. හෝල්ට් දක්වන්නේ යටත් පිරිසෙයින් ක‍්‍රිස්තු වර්ෂ 7 – 8 වැනි ශතවර්ෂවලට අයත් යැයි සැලකෙන තිරියාය අවලෝකිතේශ්වර ප‍්‍රතිමාවේ පටන් ඉදිරියට මෙම ඇදහිල්ල විකාශය වී ඇති අන්දමයි (චීන තෙරුන්ගේ ගමන් විස්තරය හා භි්‍යුංසියෑං භ‍්‍රමණ වෘත්තාන්තය, 1961, පිටු. 277-329).

වර්තමාන ලාංකීය ආගමික සංස්කෘතිය දෙස විමසිලිමත් වීමේ දී එය ලෝකයේ ඕනෑම සංස්කෘතියක් මෙන් බහුරූපී වේ. ලංකා සමාජය බහුරූපි වීම සඳහා ඉවහල් වූ හේතු අතර ප‍්‍රධාන වන්නේ ස්වාභාවික පිහිටීමයි. දකුණු ඉන්දියාවට ආසන්න ව පිහිටා ඇති දිවයින දුරාතීතයේ සිට ම සමුද්‍රාසන්න වෙළද යුද්ධෝපාය මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක වී ඇත. මෙ නිසා ලංකාව අන්තර් සංස්කෘතික ස්පර්ශයට සහ සංස්කෘතික අනුකලනයට තෝතැන්නක් ව පැවත ඇත.

ශ‍්‍රි ලංකාවේ ස්වාභාවික පිහිටීම හේතුවෙන් පුරාතන, මධ්‍ය කාලීන හා නුතන යන සෑම යුගයක ම විදේශීය ජාතීන්ගේ අවධානය යොමුව තිබේ. මෙ රටට පැමිණි විවිධ ජාතින් අතරින් ලාංකීය සංස්කෘතියට වැඩි බලපෑමක් කර ඇත්තේ ක‍්‍රිස්තු පූර්ව 4-5 සියවස්වල ලංකාවට පැමිණි කණ්ඩායම් මගිනි (හෝල්ට්, 1994, පිටු. 126-135). එ මෙන් ම 1796 බි‍්‍රතාන්‍යයන් මෙ රටට පැමිණ වතුවගාව ආරම්භ කර එහි සේවයට විශාල වශයෙන් දකුණු ඉන්දියානු වතු කම්කරුවන් ඇතුළු භාරතීය ජන සංක‍්‍රමණ, ශ‍්‍රි ලාංකීය සංස්කෘතිය ප‍්‍රබල වෙනසකට බඳුන් වීමට හේතු විය. මෙ ලෙස පැමිණි භාරතීය සංක‍්‍රමණිකයන් අතර පැවති සංකේත, විශ්වාස හා ආගමික විශ්වාස ද මෙ රට සංස්කෘතියට සම්මිශ‍්‍ර වූ බව පෙනේ. එකී සංක‍්‍රමණ තුළින් භාරතයේ පැවති දේශපාලන ආර්ථික හා සංස්කෘතික මතවාද ද පැමිණි බව කිව හැකි ය. දක්ෂිණ භාරතීය සම්භාව්‍ය සංස්කෘතිය හා බැඳුණු ප‍්‍රධාන ආයතන සමඟ මෙන් ම භාරතයේ හා අග්නිදිග ආසියාතික රටවල විවිධ ආගමික හා දේශාටන මධ්‍යස්ථාන සමඟ පැවති සබඳතා, ඒ කාලයේ ලාංකීය ආගමික පරිසරය තුළ පැවති නම්‍යශීලි භාවය ආදි හේතු නිසා ද මෙසේ විවිධ ආගමික සංකල්ප මෙම සංස්කෘතියට සංකලනය වන්නට ඇත. එ ලෙස සිදු වූ ආගමික සංකලනයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය දක්වා බෞද්ධ සම්ප‍්‍රදායේ පවතින හින්දු ආගමික සංකල්ප ජන සමාජයට කාවැදී සමාජගත විය. විවිධ හේතු සාධක රැසක් මත මහායාන බෞද්ධ සම්ප‍්‍රදායේ විශේෂ ඇදහීම් ක‍්‍රමයක් වූ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනයට ප‍්‍රවේශ වූ ආකාරයක් දක්නට ලැබේ.

බෝධිසත්ව වන්දනයට ප‍්‍රධාන තැනක් ලබාදීම මහායානයේ මෙන්ම හීනයානයේ ද දක්නට ලැබෙන ලක්ෂණයකි (ලියනගමගේ සහ ගුණවර්ධන, 1965, පිටු.112-137). භාරතීය සංක‍්‍රමණ ඇසුරෙන් ලංකාවට ලැබුු බෝධිසත්ව වන්දනය ලක්දිව අනුරාධපුර යුගයේ සිට ම ප‍්‍රචලිත ව පැවති බව පෙනේ (Dahian 1994, P.34). මහායාන මූර්ති ශිලපයේ බලපෑම ලක්දිවට පැමිණියේ දැයි ස්ථිර ව හඳුනාගැනිමට අපහසු වුව ද අනුරාධපුර මුල් අවධියේ සිට ම මහායාන මූර්ති පවතින්නට ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අදහස් වේ. මේ ඇසුරෙන් ලක්දිව අනුරපුර යුගයේ අවසාන භාගය වන විට අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය මෙ රට ආරක්ෂිත ව පැවති බව IV වන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ සඳහන් “ලක්දිව නොබෝසත්හු රජ නොවෙම්යැයි” (Mudiyanse, 1976, P.29) යන පාඨයෙන් සනාථ වේ. භාරතීය සංස්කෘතික දායාදයක් ලෙස බෝධිසත්ව වන්දනය අපට ලැබුණේ යැයි විශ්වාස කළ ද බෞද්ධ බෝධිසත්ව වන්දනය ලෝකයට හඳුන්වා දෙන ලද්දේ මධ්‍ය ආසියානු බුදුදහම විසින් යැයි පිළිගැනීමක් ද වේ (E.Z.Vol. I .p. 218). නමුත් දැනට පිළිගත් මතය වී ඇත්තේ භාරතීය සංස්කෘතික අභාසයක් ලෙස මෙ රටට ලැබෙන බෝධිසත්ව වන්දනය පසුව ලාංකික සමාජය තුළ ස්ථාපිත වූ බවයි.

මේ අයුරින් මහායාන බුදුසමයත් සමඟ ලංකාවට පැමිණි බෝධිසත්වවරුන් අතර අවලෝකිතේශ්වර හා මංජ‍්‍ර ශ‍්‍රී ප‍්‍රධාන තැනක් ගනිති. අවලෝකිතේශ්වර ඒ නමින් ප‍්‍රකට වූ නමුත් පසු කලක දී නාථ දෙවියන් වශයෙන් ද සමන්ත භද්‍ර දෙවියන් ලෙස ද ප‍්‍රකට විය (සාසනරතන, 1952, පිටු.242). මෙ රට සංස්කෘතියට අලූතින් අන්තර්ගත වූ සංකල්පයක් වුව ද එමගින් බෞද්ධ ධර්ම විභාගයට අභියෝගයක් එල්ල වූ බවක් නොපෙනේ. අවලොකිතේශ්වර සංකල්පය භාරතීය ආභාසයක් ලෙස මෙ රටට ලැබුණ ද එය ථෙරවාදයේ ඉගැන්වීම් තුළ එහි ප‍්‍රායෝගික බව වඩාත් පුළුල් විය. තවද මෙම සංකල්පය ශ‍්‍රී ලාංකික සංස්කෘතියෙන් පරිබාහිර ව උපත ලබා කාලයත් සමඟ ලාංකීය සංස්කෘතියට උකහාගෙන ඇත. ඉන් සනාථ වන්නේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියේ පවත්නා විවිධ ලක්ෂණ වැළද ගැනිමේ නැඹුරුව ය (හෝල්ට්, 1994, පිටු. 18).

පරිබාහිර සංස්කෘතියකින් උකහා ගන්නා සංස්කෘතිකාංග තම අනන්‍යතාවට අනුකූල වන පරිදි සකස් කර ගැනීමට ශ‍්‍රී ලාංකිකයන්ට පවත්නා සහජ දක්ෂතාව නිසා ම මෙම බෝධිසත්ව සංකල්පය ද ථෙරවාදී දහම තුළට උකහා ගනිමින් ශ‍්‍රි ලාංකීය සංස්කෘතිය තුළ එහි පැවැත්ම ස්ථිර කරගත් බව පෙනේ. අවලෝකිතේශ්වර සංකල්පය සිංහල බෞද්ධ සමාජයට හා දේශපාලන සංකල්ප පද්ධතිය තුළට අන්තර්ග‍්‍රහණය වීම සිදු වූයේ 13 වැනි හෝ 14 වැනි සියවසේ දී බව සනාථ වේ (එම, පිටු. 20). එනමුත් ඊට පෙර සිට ම අවලෝකිතේශ්වර වන්දනය මෙ රට පැවති බවට සාධක හමු වේ. තිරියායේ සඳහන්, ගුරුවලෝකිතේශ්වර ඉති දුෂිතො බලවා, යන පාඨය (Paranavithana, 1953, P.59) තුළින් ගම්‍ය වන්නේ යටත් පිරිසෙහි ක‍්‍රිස්තු වර්ෂ 7 වැනි ශතවර්ෂයේ දී වත් අවලෝකිතේශ්වර වන්දනය මෙ රට ප‍්‍රචලිත ව පවතින්නට ඇති බවයි (E.Z.Vol. IV, P. 158-160).

ආගමික සංකල්පයක් ලෙස ආරම්භ වූ අවලෝකිතේශ්වර ඇදහිල්ල ජන සමාජය තුළ ස්ථාපිත වීමට දේශපාලන සහයෝගය ද හේතු විය. බෝධිසත්ව සංකල්පය හා මෙ රට දේශාපාලන සංස්කෘතිය සියුම් විග‍්‍රහයකට භාජනය කිරීමේ දී පැහැදිලි වන අදහසක් වන්නේ මහායාන බෝධිසත්වයකු හා තන්ත‍්‍රයානීය දෙවිවරයකු ලෙස අවලෝකිතේශ්වර සංකල්පය වර්ධනය වීමට පෙර ථෙරවාදය තුළ බෝධිසත්ව සංකල්පය දියුණු වෙමින් පැවති බවයි. සිංහල බෞද්ධ සමාජය තුළ බෝධිසත්ව සංකල්පය ව්‍යාප්ත වීමට බලපෑ කරුණු තුනක් ඇත.

  1. බුදුවීමට පෙර සිදුහත් චරිතය ජාතක කථාවල දැක්වෙන ගෞතම බුදුන් වහන්සේ සම්බන්ධ බෝධිසත්ව කථා
  2. අනාගතයේ බුදුවන මෛත‍්‍රී බුදුන් හා සම්බන්ධ බෝධිසත්ව චරිතය
  3. ධාර්මික රජෙකු නිවන් මඟට පිළිපන් බෝධිසත්වයකු වෙතැයි යන සිංහල බෞද්ධ සංකල්පය යනාදී වශයෙනි (හෝල්ට් 1994, පිටු. 18).

ඉහත කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී අවබෝධ වන්නේ පූර්ව මධ්‍ය කාලීන අවධියේ සිට ලාංකීය චින්තනය තුළ අවලෝකිතේශ්වර වන්දනය වර්ධනය වෙමින් පැවති බවයි. තව ද මෙම ඇදහීම පැවිදි සමාජය පමණක් නොව ගිහි සමාජය තුළ ද ප‍්‍රචලිත වීම කැපී පෙනේ. එ ලෙස වර්ධනය වූ බෝධිසත්ව සංකල්පය පූර්ව මධ්‍ය කාලීන ශ‍්‍රී ලාංකික බැතිමතුන් ආගම කෙරෙහි පොළඹවන මානසික බලපෑමක් කරන්නට ඇති බවට අනුමාන කළ හැකි ය. මෙම හේතු නිසා අවලෝකිතේශ්වර ඇදහීම මගින් බුද්ධත්වය හා සැදැහැවත් පිරිස් පිළිබඳ ජනප‍්‍රිය සංකල්පය ඇති වී ප‍්‍රජා බලය හා ආධ්‍යාත්මික බලය කෙරෙහි පැවති ඉඩකඩ පුළුල් විය. තව ද ශ‍්‍රී ලාංකීකයන් අවලෝකිතේශ්වර වන්දනය ප‍්‍රධාන අරමුණු දෙකක් පෙරදැරි ව සිදු කර ඇත. එනම් ලෝකෝත්තර සුවය හා ලෞකික අවශ්‍යතා ඉටුකර ගැනීමයි.

නූතන සංකීර්ණ සමාජයේ ජීවත් වන අපට මුහුණ දීමට සිදුවී තිබෙන ගැටලූවලට හා අවශ්‍යතාවන්ට අදාළ පිළිතුරු සැම විට ම ධර්මානුකූල ඒවා නොවීමට ඉඩ ඇත (නව සංස්කෘති, කලාප 1, 1986, පිටු.11) මේ නිසා ප‍්‍රායෝගික වශයෙන් ධර්මිෂ්ඨ නොවන්නා වූ ඇතැම් කාර්ය සාධනයට බෝධිසත්ව ගුණෝපේත බෝසත් දෙවිවරුන්ගේ සහය නොපතා, ලෞකික නැඔුරුවක් ඇති සැඩපරුෂ දෙවිදේවතාවුන්ගේ සහය පැතීමක් දක්නට ලැබේ. ඒ අනුව, එයට කෘතගුණ දැක්වීම උදෙසා ද අවලෝකිතේශ්්වර වන්දනයට මොවුන් යෙද වු බෝසත් දෙවිවරුන්ගේ සහාය නොපතා ලෞකික නැඹුරුවක් ඇති දෙවිදේවතාවුන්ගේ සහාය පැතීමක් දක්නට ලැබේ. මේ අනුව, ලාංකීය අවලෝකිතේශ්වර බැතිමතුන් එම බෝධිසත්වයන්ට වන්දනා කිරීම තුළින් දුක් නිවා ලෝකයේ ධර්මය ස්ථාපිත කිරීමත්, බුද්ධ ධර්මය යන දෙක මෙ ලොව තහවුරු කිරීමත් ප‍්‍රාර්ථනා කළ බව දක්නට ලැබේ (හෝල්ට්, 1994, පිටු. 18). එ සේ තවත් විශ්වාසයක් වූයේ ධර්මය දුර්වල ව පැවති සිංහල රාජධානියේ සෑම ප‍්‍රදේශයක ම ත‍්‍රිවිධ රත්නය ස්ථාපිත කිරීමට හැකි වූයේ අවලෝකිතේශ්වර මැදිහත් වීමෙන් ඒ බව පෙනේ. තව ද මහායානයට අනුව අවලෝකිතේශ්වර සම්භෝග කාය වශයෙන් ලොව අවලෝකනය කර සසරින් මිදීමට අපේක්ෂා කරන අයට පිහිට වේ. එ බැවින් සිංහලයන් අවලෝකිතේශ්වර වන්දනාමාන කිරීම තුළින් සසරින් මිදීමට ඔහුගේ උපකාරය අපේක්ෂා කර ඇත. මේ හේතු නිසා ම කි‍්‍රස්තු වර්ෂ 8 – 10 වැනි සියවස් කාලයේ දී අනුරාධපුර අගනුවර සමහර විහාරස්ථානවල අවලෝකිතේශ්වර පුදපූජා කරනු ලැබු අතර ඔහු හා සම්බන්ධ මහායාන විශ්වාසය සේ ම විමුක්ති මාර්ගය ද ප‍්‍රචලිත ව පැවති බව පෙනේ.

ඉහත සමස්තය ගෙන බලන විට අවලෝකිතේශ්වර බෝධිසත්වයන් විශේෂි වනුයේ උන්වහන්සේ මහායානයේ එන ලෞකික, ලෝකෝත්තර යන අංශ දෙකට ම පවතින සම්බන්ධතාව නිසා ය. එ සේ ම උන්වහන්සේ සිංහල සංස්කෘතියට ඇතුළු වන්නේ ද මෙම ඓතිහාසික වැදගත්කම නිසා ය. ඔහු සතුව පැවති ලෞකික බලය නිසා ම අවලෝකිතේශ්වර නාථ දෙවි ලෙස සලකා උඩරට ජනතාව විසින් පුද සත්කාර කළ බව කිව හැකි ය.

ලක්දිව පැවති අවලෝකිතේශ්වර වන්දනය සමඟ තාරා දෙවඟන ඇදහීම ද ප‍්‍රචලිත විය. මෙ රට බෝධිසත්ව ප‍්‍රතිමා සමඟ එම වන්දනාවට සම්බන්ධ බෝධිසත්ව ශක්ති වන්දනාව ද අනුරාධපුර යුගයේ අවසාන භාගයේ දී ප‍්‍රචලිත වන්නට ඇතැයි නිගමනය කළ හැකි ය. මහායාන ග‍්‍රන්ථවලට අනුව තාරා යනු අවලෝකිතේශ්වර බෝසතුන්ගේ භාර්යාවයි (අමරසිංහ, පිටු. 24). වජ‍්‍රයානය කි‍්‍රස්තු වර්ෂ 9 වැනි සියවසේ දී පමණ මේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව අවලෝකිතේශ්වර බෝධිසත්වයාගේ බිරිඳ වූ තාරා වන්දනය ද ස්ථාපිත වන්නට ඇත. මෙම ආගමික සංකල්ප ව්‍යාප්තවීම සඳහා රාජානුග‍්‍රහය ද ලැබුණු බව පෙනේ. විශේෂයෙන් ම පළමු වැනි සේන රජු (ක‍්‍රි.ව. 833 – 853) වජ‍්‍රායානය වැළදගැනීම ඊට කදිම නිදසුනකි (අදිකාරම්, 1963, පිටු.207-227). මෙම අවධියේ වජ‍්‍රපර්වත නිකායවාසී භික්ෂුවක් ලක්දිවට වාජිරීයවාදය ගෙන ආයේ ය. රජතුමා එය පිළිගත් හෙයින් ඊට අනුබල ද ලැබුණි. වාජිරීය වාදය නැගෙනහිර භාරතයේ ප‍්‍රචලිත ව පැවති වජ‍්‍රයානය විය හැකිය. හතර වැනි මිහිඳු රජු (ක‍්‍රි. ව. 956 – 972) මහින්තලේ පිහිටුවන ලද ලිපියක, මිණිනාල්, වශයෙන් තාරා බිසව හඳුන්වා තිබෙන බව පරණවිතාන මහතා පවසයි (E.Z.Vol. I1 .p. 57). එ සේ ම හත් වන සියවසට අයත් තිරියාය සෙල් ලිපියේ තාරා බිසව, මිණිනාල්, යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. සිංහල බුද්ධාගමේ, බිසෝ බණ්ඩාර, නමින් ඇය හැඳින්වේ (වික‍්‍රමගමගේ, 1996, පිටු.5). තිසර සංදේශයෙහි තාරා බිසෝ ලෙස ද දක්වා ඇති අයුරු පහත පද්‍යාවලියෙන් සනාථ වේ.

බෝරා යස වියන මහරු සිරිලකු මැදුර මෙසෙ සි
තොරා හැර දුසිරි – ලකරින් ලකල එ සි
වාරා නොව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන් සදි සි
තාරා බිසවි තෙද නැමැද යාගන් එයින් නොලැ සි (තිසර සංදේශය, කවි, 156)

එ පමණක් නොව වේගිරිය දේවාලයේ (මුදියන්සෙ,1971, පිටු. 174) තාරා බිසෝ බණ්ඩාර ලෙස ද ඇය සමාන්‍යයෙන් හැඳින්වේ.

තාරා බෝසත් ගණයට අයත් දේවතාවියකි (ධර්මාරාම, 2004, පිටු. 47). තාරා යන්නෙහි අර්ථය ගැලවුම්කාරිය නොහොත් සංසාරයෙන් මුදා ගන්නා තැනැත්ති යන්නයි. ඇගේ ප‍්‍රභවය පිළිබඳ අත්භූත කථා රැුසක් ඇති අතර අමිතාභ බුදුන්ගේ ඇසින් නිකුත් වූ නීලවර්ණ රශ්මියකින් තාරා උපන් බව සඳහන් වේ (සාසනරතන, 1952, පිටු.242). අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ඇසින් වැටුණු කඳුළු බිංදුවකින් පොකුණක් මැවුණු බැව් ද, එහි හටගත් පද්මයකින් තාරා උපන් බව ද සමහර තැනක සඳහන් වේ. ආරම්භයේ දී එකම තාරා බිසව පසු කාලයේ තාන්ති‍්‍රක ධර්මයේ බලපෑම නිසා ගණනින් වැඩි වූවා ය. එ බැවින් තාන්ත‍්‍රික ධර්මය අනුව තාරා බිසෝවරු ගණනාවකි. එ නම්, සිත තාරා, හරිත තාරා, රක්ත තාරා, නීල තාරා, ශේවෙත තාරා යනුවෙනි. ශ්වේත තාරා දේවිය සර්ව සම්පූර්ණ පිරිසිඳු භාවය හඟවන්නියකි. මැය අවලෝකිතේශ්වර ගේ ප‍්‍රියා වශයෙන් ද සලකනු ලැබේ. ඒ නිසා ඇය නිරන්තරයෙන් ඔහුගේ දකුණු පසින් සිටිනු පෙනේ. මේ සඳහා හොඳ ම නිදසුන වන්නේ බුදුරුවගල නිර්මිත තාරා ප‍්‍රතිමාවයි. තාරා දේවියගේ ප‍්‍රතිමාව ද යෝගි සහ රාජකුමාරි තාරා ලෙස වර්ග දෙකකින් සමන්විත ය. මෙම ප‍්‍රතිමා නියෝජනය කරනු ලබන අනුවර්ගවලට අයත් ප‍්‍රතිමා රැසකි. ශ‍්‍රී ලංකාවේ බහුල වශයෙන් පුදනු ලබන්නේ යෝගි වර්ගයට අයත් තාරා පිළිමය. අනුරාධපුර, පොළොන්නරු යුගවලින් පසු නැවත තාරා ඇදහීම ලක්දිව ජනප‍්‍රිය වූයේ 14 සියවසින් පසුව ය.

buduruvagala-sri-laanka-mahayanism
බුදුරුවගල අවෙලා්කිෙත්ෂ්වර (මැද), තාරා ෙද්විය (දකුෙණ්) හා සුදන කුමරු (වෙම්) (https://www.holidaycheck.de අඩවිෙයන් උපුටා ගන්නා ලදී)

නිගමනය

මහායානය තුළින් ප‍්‍රචලිත වූ බෝධිසත්ව සංකල්පය ලාංකීක සමාජයට ලබා දුන්නේ විශේෂ තත්ත්වයක් බව ඉහතින් පැහැදිලි වේ. අවලෝකිතේශ්වර වන්දනාවේ විකාශය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී මහායාන ධර්මයේ වර්ධනයත් සමඟ අවලෝකිතේශ්වර චරිතය වර්ධනය වූ බවට පැහැදිලි සාක්ෂි හමු වේ. විශේෂ බෝධිසත්වයෙක් ලෙස අවලෝකිතේශ්වර වැදගත් වන අතර ඒ හා සමඟ ම තාරා වන්දනය ද ලාංකික සමාජය තුළ ප‍්‍රචලිත වූ බව ඉහත තොරතුරු තුළින් පැහැදිලි වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • ජාතක අටුවා ගැටපදය (1965), සංස්. ඞී.බී. ජයතිලක, ලේක්හවුස් ඉන්වෙස්මන්ට්, කොළඹ.
  • මහාවංසය (1996), සංස්. හික්කඩුවේ සුමංගල හා බටුවන්තුඩාවේ, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ.
  • බෞද්ධ රාජධානි පිළිබද තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව (1958), පරි. බලගල්ලේ විමලබුද්ධි හිමි, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • චීන තෙරුන්ගේ ගමන් විස්තරය හා හියුංසියෑං භ‍්‍රමණ වෘත්තාන්තය (1961), පරි. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, ආනන්ද පොත් සමාගම.
  • අදිකාරම්, ඊ. ඩබ්ලියු. (1963), පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, ජයවර්ධන සහ සමාගම, කොළඹ.
  • ධම්මතිලක හිමි, පැලැන්වත්තේ (2008), ශ‍්‍රී ලංකාවේ බෝධිසත්ව සංකල්පය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ලගමුව, ඒ. (1997), ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රතිමා ලක්ෂණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • කුමාරජීව, සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය (2000), පරි. ගුණපාල ධර්මසිරි, කර්තෘ ප‍්‍රකාශනයකි.
  • සුමනසිරි, ගල්ලෑල්ලේ (2002), අවලෝකිකේශ්වර බෝධිසත්ව ප‍්‍රණාම, කරුණාරත්න හා පුත‍්‍රයෝ, මහනුවර.
  • වික‍්‍රමගේ, චන්දා (1996), ශ‍්‍රී ලංකාවේ බෝධිසත්ව සංකල්පය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
  • වික‍්‍රමගේ, චන්ද්‍ර (2006), ශ‍්‍රී ලංකාවේ බුද්ධ ප‍්‍රතිමා කලාව, එස්. ගොඩගේ හා සමාගම, කොළඹ.
  • ලියනගමගේ, අමරදාස හා රණවීර ගුණවර්ධන (1965), අනුරාධපුර යුගය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, කැලණිය.
  • හොල්ට්, ජෝන් ක්ලිෆර්ඞ් (1994), මකුට මුනිධාරි අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය, පරි. පී.බී. මීගස්කුඹුර, ප‍්‍රදීප ප‍්‍රකාශන, කොළඹ.
  • මුදියන්සේ, නන්දසේන (1971), ලක්දිව මහායාන සිහිවටන, ශාස්ත‍්‍රීය සංග‍්‍රහය.
  • ධර්මාරාම, අහංගම (2004), සුප‍්‍රකට දෙවිවරු, විශ්ව බෝ, රත්මලාන.
  • සාසනරතන, මොරටුවේ (1952), ලක්දිව මහායාන අදහස්, විසිදුණු ප‍්‍රකාශන, බොරලැස්ගමුව.
  • වනරතන කඹුරුපිටියේ (1986), ශ‍්‍රී ලංකාවේ බෝධිසත්ව සංකල්පය, නව සංස්කෘති, කලාප 1, සංස්. අමරදාස ගුණවර්ධන, හැරල්ඞ් පීරිස්, සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, කොළඹ.
  • සිරිසේන, විතානගේ (1992), බෝධිසත්ව සංකල්පය මහායානය හා ථෙරවාදය, සම්භාෂා 4 කලාපය, සංස්. විනීත වෙදගෙදර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව, කොළඹ.
  • වික‍්‍රමගේ, චන්දා (1996), ශ‍්‍රී ලංකාවේ බෝධිසත්ව සංකල්පය, සංස්කෘති පුස්තකමාලා 4, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.
  • මුදියන්සේ, නන්දසේන (), මෛත‍්‍රි බෝධිසත්ව ප‍්‍රවෘත්ති, බෞද්ධ සංස්කෘතික වෙළුම, සංස්. සිරි නිශ්ශංක, සංස්්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.
  • වනරතන, කුඹුරුපිටියේ (1986) අවලෝකිතේශ්වර බෝසතුන්, නව සංස්කෘති, කලාප I, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ෙකාළඹ.
  • මුණසිංහ. එම්.ඒ. සී. (2002) අවලොකිතේශ්වර බෝධිසත්ව වන්දනාව, සම්මුති II, සංස්. උණුවතුරබුබුලේ මහින්ද සහ වෙනත් අය, දීපන ඕප්සිටි ප‍්‍රින්ටර්ස්, ගම්පහ.
  • Epigraphia Zeylanika (1948), Ed. Senerath Paranavithana, Oxford University Press, London, 1948.
  • Bahattacliarya, B. (1985), The Indian Buddhist Iconography, Cosmo Publication, New Delhi.
  • Dahian, D.G. (1994), Mahayana Buddhist Sculpture of Ceylon, Calcutta.
  • Mudiyanse, N. (1976) Mahayana Monuments in Ceylon, Gunasiri, Colombo.
  • Paranavithana, S. (1948), Upulvan  Shrine at Devundara, Journal  of the Royal Asiatic Society, Vol. XXXVIII.
  • Winternitz (1925), Some Problems of Indian Literature, Delhi.

භික්‍ෂු ශාසනයේ නිර්මලත්වය උදෙසා බිහි වූ ඓතිහාසික කතිකාවත්

මැදමහනුවර ධම්මසිරි හිමි

buddhist-monk
ෙමම රූපය https://www.theguardian.com උපුටා ගන්නා ලදී

ශ්‍රී ලංකා භික්‍ෂු සමාජය වනාහි ක්‍රිස්‌තු පූර්ව තුන් වැනි ශතවර්ෂයේ දී පමණ නිල වශයෙන් ඇරඹි අද දක්‌වා පැවත ආ අති දීර්ඝ කාල පරිච්ඡේදය තුළ දී ධනාත්මක හා සෘණාත්මක ප්‍රවණතාවන් කෙරේ විවිධ ස්‌වරූපයේ නැඹුරුතා දක්‌වා ඇති බව එහි ඓතිහාසික විකාශනය පරීක්‍ෂා කිරීමෙන් තහවුරු වේ. ගත වූ මෙම කාලය තුළ මෙ රට භික්‍ෂු සමාජය ඒ ඒ අවධීන්හි ක්‍රියාත්මක සමාජ – ආර්ථික ක්‍රියාකාරීත්වයට සෘජුවම මුහුණ දෙන ලදී. මූලාශ්‍රයාගත ඓතිහාසික සාක්‍ෂි පෙන්වා දෙනුයේ දේශයේ සමාජ – ආර්ථික හා දේශපාලනික විචල්‍යතාවන් සංඝ සමාජයේ උච්චාවචනයන් කෙරේ දැඩි බලපෑම් එල්ල කළ බව ය. මෙම ශාස්‌ත්‍රීය ලේඛනය මගින් අප හඳුනා ගැනීමට උත්සහ දරනුයේ එකී ශාසනික විචල්‍යතා, විපර්යාස හමුවේ පාරිශුද්ධ බුද්ධ වචනය සුරක්‍ෂිතව පවත්වා ගැනීමට ඒ ඒ කාලවකවානුවල දී රටේ දේශපාලන හා ශාසනික නායකත්වය සම්මුතිවාදීව ක්‍රියාත්මක වූ ආකාරයයි. එම තත්ත්වය වඩාත් හොඳින් හඳුනා ගත හැක්‌කේ සුප්‍රසිද්ධ “කතිකාවත්” හරහා ය. එම කතිකාවත් ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදනු ලැබේ. ඒවා නම්, 1 විහාර කතිකාවත් හා 2. ශාසන කතිකාවත් වශෙයනි. . . .

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා – 2016.11.02 දිවයින බදාදා අතිෙර්කය

අප සමඟ අත්වැල් බැඳ ගන්න ඔබට කෙරෙන ඇරයුමයි

පුරාවිද්‍යාව, ඉතිහාසය, කලා ඉතිහාසය, පුරාණ වාස්තුවිද්‍යාව හා ෙවනත් සමගාමී විෂයයන් පිළිබඳ ව දෙස්විදෙස් සිංහල පාඨකයින් දැනුවත් කිරීමේ අරමුණින් පුරා වසර හතක කාලයක් තිස්සේ සිංහල බසින් ක්‍රියාත්මක වන්නා වූ ප්‍රමුඛතම වෙබ් අඩවිය archaeology.lk වෙබ් අඩවියයි. ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ පුරාවිද්‍යාව, ඉතිහාසය හා සමගාමී විෂයයන් පිළිබඳ සිංහල බසින් අඛණ්ඩ ව වසර ගණනාවක්  ක්‍රියාත්මක වන්නා වූ එක ම වෙබ් අඩවි ජාලය වන්නේ ද මෙකී වෙබ් ජාලයයි. අදාළ විෂයයන් පිළිබඳ ප්‍රාමාණික උගතුන්ගේ මෙන් ම නවකයින්ගේ ද විෂයීක ලිපි, පර්යේෂණ පත්‍රිකා, දේශන, විද්‍යුත් සඟරා හා වෙනත් විෂයය සමගාමි ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර සඳහා ඉඩකඩ විවර ව පවතින මෙම වෙබ් අඩවිය සඳහා දායකත්වය සැපයීමට දැන් ප්‍රවීන ෙහා් නවක ඔබට ද අවස්ථාව විවර ව පවති.

ඔබ විසින් විධිමත්/පිළිගත් ක්‍රමවේදයකට අනුව රචනා කරන ලද පුරාවිද්‍යාව, ඉතිහාසය හෝ සමගාමී විෂයයන් සම්බන්ධයෙන් රචනා කරන ලද ලිපි අප වෙත ලැබීමට සලසන්න. එම ලිපි වෙබ් අඩවියේ සංස්කාරක මණ්ඩලයේ අධීක්‍ෂණයෙන් පසු පළකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇත. (අදාළ ලිපි වල කර්තෘ අයිතිය හා අන්තර්ගතය පිළිබඳ වගකීම ඒ එක් එක් ලේඛකයා සතු වන බව කරුණාවෙන් සලකන්න.)

අප එක් මසකට තොර ගන්නා ලිපි දහයක්(10) සඳහා පර්යේෂකයා සඳහා මූල්‍යමය දිරි ගැන්වීමක් කිරීමට ද අප ආයතනය තීරණය කර ඇත.

 

විෂය පරාසය
  • පුරාවිද්‍යාව, මානව විද්‍යාව, ඉතිහාසය, කලා ඉතිහාසය, පුරාණ වාස්තුවිද්‍යාව හා වෙනත් සමගාමී විෂයයන්
අකුරු මෝස්තර
  •  සිංහල යුනිකෝඩ්(Iskola Potha) භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ
  • FMAbhaya හෝ වෙනත් FM වර්ගයේ අකුරු ද භාවිත කළ හැක
ලිපියේ ප්‍රමාණය
  •  සීමාවක් නොමැත
ඡායාරූප, සැලසුම් හා සිතියම්
  • ලිපියට සපයන එක් ඡායාරූපයක් ප්‍රධාන ඡායාරූපය (Featured Image) විය යුතු අතර එය අවම තරමින් 100 dpi විය යුතු ය. අව ම උස හා පළල පිළිවෙලින් 900×1200 පික්සල විය යුතු ය.
    පහත දක්වා ඇති උදාහරණය බලන්න
  •  JPEG/PNG සම්මතයට අමුණා එවන්න. අව ම රෙසලූෂන් ප්‍රමාණය 100 dpi විය යුතු අතර අවම පළල හා උස පිළිවෙලින් 800×600 පික්සල විය යුතු ය
    පහත දක්වා ඇති උදාහරණය බලන්න
  • ඔබගේ ලිපියේ ඡායාරූප නිර්මාණශීලී ව ඉදිරිපත් කිරීමට අවශ්‍ය විට දී අවම පළල හා උස ප්‍රමාණයන් අනුගමනය නො කළ සිටිය හැකි ය
පරිශීලන ක්‍රමය හාවර්ඩ් පරිශිලන ක්‍රමය වඩාත් උචිත යි. හාවර්ඩ් පරිශිලන ක්‍රමය පිළිබඳ සිංහල ලිපියට

ඔබගේ නම හා විස්තර ප්‍රදර්ශනය කළ යුතු ආකාරය පැහැදිලි ව දැක්විය යුතු ය . පහත දක්වා ඇති උදාහරණය බලන්න.

ඔබ පිළිබඳ පාඨකයන්ට හඳුන්වා දීමේ කෙටි සටහනක් එවන්නේ නම් එය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. ඔබව පාඨකයන්ට සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් හෝ ඊමේල් ලිපිනයක් ලබා දීම ඔබ ව පාඨකයාට සමීප කිරීමට උදව්වනු ඇත. පහත දක්වා ඇති උදාහරණය බලන්න.

අදාළ ලිපිය සමඟ පළකිරීමට සුදුසු උඩු කය ඡායාරූපයක් අමුණා එවන්න. මෙම ඇමුණුමේ රෙසලූෂන් අවම තරමින් 100 dpi විය යුතු අතර අවම පළල හා උස පිලිවෙලින් 225 × 300 පික්සල විය යුතු ය. පහත දක්වා ඇති උදාහරණය බලන්න.

ලිපි එවිය යුතු ආකාරය

විද්‍යුත් ලිපිනය : info@archaeology.lk / anuradha@archaeology.lk
තැපැල් ලිපිනය : අනුරාධ පියදාස, archaeology.lk, විලේගොඩ වලව්ව, කළුතර උතුර.

800 හා 600 පික්සල ඡායාරූප සඳහා උදාහරණය

800-600-example-iamge

 

1200 හා 900 පික්සල ඡායාරූප සඳහා උදාහරණය

1200-900-example-iamge

ඔබගේ නම හා විස්තර ප්‍රදර්ශනය කළ යුතු ආකාරය

කමල් පෙරේරා MSc
පරේෂණ සහකාර
පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව

ඔබ පිළිබඳ කෙටි සටහන (උදාහරණයක් පමණි)

2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) උපාධිය ලබාගන්නා ලද ප්‍රදීප් කරුණාරත්න, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද 2010 වසරේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධි පාඨමාලාව ද හිමිකර ගන්නා ලදි.
2008 – 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරේෂකයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරයි.

උඩු කය ඡායාරූපය

profile-photo

පුළුටු මැටි රූපවල රූපීය ලක්ෂණ, ඇදහිලි හා විශ්වාස : වර්තමාන බලි ශාන්තිකර්ම සමඟ සිදුකරන සංසන්දනාත්මක අධ්‍යයනයකි

කේ.එම්. අනිල් සුරේෂ් කුමාර

පර්යේෂණ නිළධාරී (පුහුණු වන), කැනීම් හා පර්යේෂණ අංශය, අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

anilsureshkumaranew@gmail.com

anil-suresh-kumara
අනිල් සුෙර්ෂ් කුමාර

මානවයා පාෂාණ, ඇටකටු, දැව ,සිප්පිකටු ආදි භාවිත කිරීමෙන් අනතුරුව මැටි භාවිතයෙන් කිසියම් නිමයුමක් නිර්මාණය කරන්නට මුලින්ම අවධානය යොමු කළ බවට සාධක ලැබෙන්නේ නවශිලා යුගයෙනි. නමුත් ඊට පෙර සිටි මානවයින් විසින් ද මැටි මූලික නිර්මාණ සිදුකර තිබෙන බව ප‍්‍රාග් ඵෙතිහාසික පර්යේෂණවලින් අනාවරණය වේ. ශිලා යුගයේ අවසාන අවස්ථාව වන මෙම අවධිය වනවිට ජලය මිශ‍්‍ර මැටි වලින් විවිධ රළු භාණ්ඩ අතින් තනා අව්වේ වියළා හාවිත කර ඇත. මැටි හාණ්ඩ හාවිතය හඳුන්වන්නේ ‘‘දුප්පතාගේ රූප කර්මාන්තය’’ ලෙසයි. මෙම මැටි රූප ග‍්‍රාම්‍ය කලාවක් නිරුපණය කරන අතර මැටියෙන් තනා පුළුස්සාගෙන ඇති බැවින් මැටි රූප, ටෙරාකොටා රූප, පුළුටු මැටිරූප වැනි නම් වලින් ප‍්‍රකටයි. ශී‍්‍ර‍ ලංකාවේ පුරාවිද්‍යා පාරිභාෂිතය සඳහා මෙම රූප කලාව හැඳින්වීමට පි‍්‍රශාන්ත ගුණවර්ධන විසින් පුළුටු මැටි රූප යන වචනය හඳුන්වා දෙන ලදි (ගුණවර්ධන 1994:12).

ලංකාවේ ප‍්‍රදේශ 41ක පමණ පුළුටු මැටිරූප හමු වේ. සීගිරිය, කිලිනොච්චිය, විල්පත්තුව, උඩවැව, මිහින්තලේ, ගල්ගමුව, මහියංගණය, පොළොන්නරුව ඒ අතරින් වේ. පුළුටු මැටි රූප, මානව රූප හා අවයව, සත්ත්ව රූප හා වෙනත් වශයෙන් හමු වේ. මැටි රූප පැහැදිලි ව කොටස් දෙකකට වැටෙයි. ඈත අතීතයේ විසු ප‍්‍රාග් ඓතිහාසික මිනිසුන් තමන්ගේ ජන ආගමේ වතාවන් සඳහා තැනු මැටි රූප එක් කොටසකි. ඓතිහාසික කාලයේ සාදන ලද පැරණි ජන ආගමට සම්බන්ධකමක් නැති මැටි රූප තවත් කොටසකි (ගොඩකුඔුරු 1982:5). පුළුටු මැටි රූප තුළින් අපගේ මුතුන්මිත්තන්ගේ ආර්ථික, සමාජීය හා ආගමික තොරතුරු රැසක් හෙළිදරව් කරගත හැකි වේ.

සිංහල ජන සමාජ ප‍්‍රවාහකය දෙස බැලීමේ දී යාතුකර්ම හෝ යාග කර්ම යන විවිධ නම් වලින් හැඳින්වෙන අපට අනන්‍ය වූ ශාන්තිකර්ම සම්ප‍්‍රදායක් දක්නට ලැබේ. යාග කර්ම අතර බලි යාගයට වැදගත් තැනක් හිමි වේ. පුදපූජා පැවැත්වීම මනුෂ්‍යයාගේ ස්වභාවික ප‍්‍රවණතාවකි. තිරිසන් බවින් නික්මී ‘‘මනුෂ්‍ය’’ යන ව්‍යහාරයෙන් හඳුන්වනු ලැබීමට ක‍්‍රමයෙන් සුදුසුකම් ලබමින් වර්ධනයට පත් මෙම ප‍්‍රාණියා සිය පරිසරයෙහි තමන් වෙත ගුඪ ව පැවති නොයෙක් වස්තු සහ හටගත් විස්මිත සිද්ධි කෙරෙහි පැන නැගුණු බයෙන් සහ ගෞරවයෙන් ද උත්තරීතර බලයක් එහි පවතී යැයි විශ්වාසයෙන් ද යුක්ත ව ඒ කෙරෙහි වැඳුම් පිඳුම් කළේ ය. එම වස්තු සහ සිද්ධි කෙරෙහි දේවත්වයක් ආරූඪ වීමට සාපේකෂ වශයෙන් වැඩි කලක් ගියේ නැත. එම දෙවියන් පින වීමෙහිලා යම් දෙයක් ඔවුන් වෙත පූජා කිරීමේ සිරිතක් ද මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වීමෙන් ප‍්‍රාථමික ආගම් බිහි වන්නට විය. මේ අනුව බලත් ම සියලු ජාතීහූ සිය ඉතිහාසයේ කවර අවස්ථාවක දී හෝ යම් දෙවිකෙනෙක් ඇදහූ බවද ඔවුන් වෙත යම් දෑ පූජා හෙවත් බලි වශයෙන් ඉදිරිපත් කිරීමේ සිරිතක් දැරූ බව ද පිළිගත මනා ය (රත්නායක 2007:63). දෙවියෝ, යක්ෂයෝ, ග‍්‍රහ තාරකා, ගස් ගල් ආදී ස්වාභාවික දේවල් හා වෙනත් දෑ හා බැඳුණු අභිචාර විධි ගැමි ජන සමාජය තුළ දක්නට ලැබේ. වර්තමානයේ බලි යනුවෙන් අර්ථ ගන්වන්නෝ දේව, ග‍්‍රහ හා භුත ආදින්ට කෙරෙන පිදවිලිහා එකි පුද සත්කාර්යයන් සදහා නිර්මාණවුණු බලි රූපයෝය. දේශීය ශාන්ති කර්මවලදි නවග‍්‍රහ අපල, උපද්‍රව, ලෙඩදුක් නිර්වාණය පිණිස බලියාග කරති. ලංකාවේ උඩරට, පහතරට හා සබරගමු සම්ප‍්‍රදායන්වල බලි දක්නට ලැබේ.

tera-kota-woman

බලි නිර්මාණය කිරීමේ දී මැටි බලි, මාන්ස බලි (කිරිබත්), කඩ බලි (රේදී), වතුර බලි, මල් බලි හා වෙනත් දෑ උපයෝගි කරගනි. බලි හා ටෙරාකොටා ප‍්‍රමාණයෙන් ලොකු කුඩා වුව ද හා ටෙරාකොටා පිළිස්සීමෙන් ද, බලි එසේ නොකරන හෙයින් ද යම් යම් වෙනස්කම් සිදු වුව ද පුළුටු මැටි රූපවල රූපීය ලක්ෂණ බලි රූප තුළ දක්නට ලැබේ. විවිධ විරූපි රූප, සත්ව රූප, වාමන රූප, බහිරව රූප, ස්ති‍්‍ර රූප, මිනිස් රූප හා ලිංග රූප වර්තමානයේ බලි රූපවල නිර්මාණය කරනු ලැබේ. පුළුටු මැටි රූපවල වූ සශී‍්‍රකත්වය, ලිංගිකත්වය, දරුසම්පත්, ලෙඩරෝග නිවාරණය, නොපෙන බලවේගවල පිහිට ආරක්ෂාව හා නොයෙක් ඇදහිලි හා විශ්වාසයන් ද බලි ශාන්ති කර්මයන් තුළ ද දක්නට ලැබේ.

1. හෙළුවැලි බලිය (වැහිබලිය)

නුවරකලාවිය ජීවත්වන මිනිසුන් වර්ෂාවෙන් තම ගොවිතැන් කටයුතු සිදුකරනු ලබයි. වැව් ජලය මිනිසුන්ගේ අතිශය ගෞරවයට පත්වේ. එහෙයින් වැස්ස ලබාගැනීමේ පරමාර්ථයෙන් බලියාග පැවැත්වීමේ සම්ප‍්‍රදායක් ප‍්‍රදේශයේ ප‍්‍රචලිත ය (කාරියවසම් 1986:18). මෙය දිවයිනේ වෙනත් කවරම සම්ප‍්‍රදායක හෝ දැකිය හැකි නො වේ. තත් බලි, සුභූත බලි, හෙළුවැලි බලිය හා ශ‍්‍රී විෂ්ණු වර්ෂාධිපති බලිය නමින් හඳුන්වනු ලැබේ. සුභූත බලියේ දී සුභුත නම් මහ රහතන් වහන්සේගේ රූපය මැටියෙන් මූර්තිමත් කරන අතර ශී‍්‍ර විෂ්ණු වර්ෂාධිපති බලියේ හිස කොටස කිඹුල් මුහුණක් ලෙසත් හිසෙන් පහළ කොටස දේව රූපයක් ලෙසත් මූර්තිමත් කරනු ලැබේ. බලි යාගවල දී විවිධ යක්ෂ, රාක්ෂ, සත්ත්ව, දේව මූර්තිමත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ රූපයක් මූර්තිමත් කිරීම දුලබ සිදුවීමකි. ඒ වූ කලී නුවරකලාවියට ආවේණික වුවකි. සුභූත බලියේ මෙතෙක් බෞද්ධ, සමාජය අතර සුපෙක්ෂල ශික්ෂාකාමී ව කටයුතු කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ද ලෞකික අවශ්‍යතා පූර්ණය කර ගැනීම සඳහා කටයුතු කරන ඇඳුරන්ගේ තත්ත්වයට පත්වන බව කිව යුතු වේ. සුභූත බලිය ඉදිරියේ භික්ෂුන් වහන්සේ සත් නමක් තුන් වරුවක් සුභූත පිරිත සජ්ඣායනය කරන අතර ඉන්පසුව බලිමැස්ස ඔසවාගෙන ගොස් වැවේ තාවුල්ලේ තබනු ලැබේ. මෙහි දී බලි ඇදුරන් විසින් බලියට අදාළ කවි ගායනා කරන අතර එම අවස්ථාවේ දී භික්ෂුන් වහන්සේ පිරිත් සජ්ඣායනය කරන්නේ ආසනයක වඩා හිඳුවා නොව නැගී සිට (හිටගෙන) වීම මෙහි තවත් විශේෂත්වයකි. භික්ෂුන් වහන්සේ මෙසේ පිරිත් සජ්ඣායනය කිරීමෙන් දින හතක් ඉක්ම යාමට මත්තෙන් පිටාර ගලා යන තරමට වැසි වසින බව වැව් ගම්වාසීහු විශ්වාස කරති (අමරසිංහ 2007:58).

නුවරකලාවියේ ප‍්‍රකට ශ‍්‍රී විෂ්ණු වරෂාධිපති බලියත්, හෙළුවැලි බලියත් එක් අතකින් වර්ෂාව ලබා ගැනීම පරමාර්ථ කොට පවත්වන්නකි. උඩරට පහතරට සබරගමු හා ඌව බලි සම්ප‍්‍රදායයන්ගේ බලි වල දී නිරන්තරයෙන් ම එක් හා සමාන බලි රූප මූර්තිමත් කොට (අඹා) යාග පැවැත්වීම සුලබ ව දැකිය හැකි වුවත් නුවරකලාවියේ බලි යාග ශාන්තියේ දී එකනෙකට වෙනස් බලි රූප (සත්ව රූප, රාක්ෂ රූප, යක්ෂ රූප, දේව රූප, අර්ධ මිනිස් හා අර්ධ සත්ව රූප, භික්ෂු රූප) සහිත විවිධත්වයෙන් යුතු බලි දැකිය හැකි වේ (එම 58-59).

පුළුටු මැටි රූපවල දක්නට ලැබෙන පිරිමි ලිංගික රූප හා කාන්තා රූප වලට සමානව වර්තමානයේ රජරට හොරෙව්පතාන හා කුඔුක්ගොල්ලෑව-මහපොතාන ග‍්‍රාමයේ කාන්තාවන් විසින් හෙළුවැලිබලිය (වැහිබලිය) යනුවෙන් වර්ෂාව අපෙක්ෂාවෙන් කුඔුරු හා වැව් තාවුල්ලේ රාති‍්‍ර කාලයේ බලි නිර්මාණය කරනු ලබයි. වර්ෂාව නැති කාලවලදි ගමේ වැඩිහිටි කාන්තාවන් හා ගැහැණු ළමුන් 15-20 පමණ එකතු වී එක් කාන්තාවක් මූලිකත්වය අරගෙන මෙම කටයුතු සිදුකරනු ලබයි. මැටි, බැටරි කුඩු, නිල් කුඩු හා වෙනත් දෑ උපයෝගි කරගෙන හාවිතයෙන් මොවුන් ගිරි දේවි හා දළ කුමාරා ලෙස හඳුන්වන නිරුවත් මැටි රූප නිර්මාණය කරනු ලබයි. ගිරි දේවිය හා දළ කුමාරයා පිළිබඳ ව ගැමි ජනතාව තුළ නොයෙක් විශ්වාසයන් දක්නට ලැබේ. මොවුන් වරක දෙවියන් හා වරක යක්ෂයින් වූ බවත් ද මොවුන්ට ම වෙන්වූ දේවාලයක් නොමැති වුවත් ලංකාවේ නොයෙක් පළාත්වල මොවුන් පුද ලබති. පුළුටු මැටි රූප තුළ දක්නට ලැබෙන ග‍්‍රාමීය කලා ලක්ෂණ ද හෙළුවැලි බලිය දැකිය හැකි ය. පොල් කටු හා කටින් නොයෙක් නාද නිකුත් කරමින් විවිධ පරුෂ වචන හා භාවිතයෙන් විවිධ කවි ගායනා කරනු ලබයි.

සත්දිනකට මුලකට බොලන්නේ
සත්දිනකට ඉරිදා බොලන්නේ
බැද්ද වැවි අමුණු වෙලිගෙන යන්නේ
ශුද්ධ ඉරිදා වැස්ස වහින්නේ

කාන්තාවන් විසින් නොයෙක් කවි ගායනා කරමින් නටනු ලබයි. ගැමි කාන්තාවන් පවසන පරිදි මැටි රූ දෙක කාටත් ඇස ගැටෙන්නට පෙර සේදී යාමට වර්ෂාව ඇදහැලෙන බව ය. දවස් තුනක් ගිය පසුව බලිය අනික් පැත්ත දමනු ලබයි. රජරට ප‍්‍රදේශයේ කාන්තාවන් පමණක් නොව පිරිමි පාර්ශවය ද මෙය සිදුකරනු ලබයි. කාන්තාවන් සිදුකරන විට කාන්තාවන් පමණක් ද, පිරිමි කරන විට පිරිමි පමණක් ද සහාභාගි වේ. නමුත් කුඔුක්ගොල්ලෑව-මහපොතාන ග‍්‍රාමයේ හෙළුවැලි බලිය කාන්තාවන් පමණක් සිදුකරනු ලැබීම විශේෂත්වයකි. රජරට වෙනත් ප‍්‍රදේශවල බහුල ව හෙළුවැලි බලිය පිරිමි පාර්ශවය සිදුකරනු ලැබේ.

පිරිමි විසින් එකතු වී මෙම කාර්ය සිදුකරනු ලබන අතර ඔවුන්ට ම ආවේණික වූ ක‍්‍රම වේදයක් දක්නට ලැබේ. කාරියේ සුබාවය රහසිගත ය. වැහි වරුෂා නැතිව අකම් පාවට පත් ගම්මු ගමරාළ හා කපුවා රහසේ එක්තැන් කරති. පසුව දිනයක් නියම කරයි. බිරින්දෑවරුන්ට හා දරුවන්ට නොකිියාම මහා රාත‍්‍රියේ ම ගෙවල් වලින් පිටතට පැමිණෙයි. පෙර සඳහන් කළ ලෙසම සංහිඳ (දේවාලය) ආසන්නයට ගොස් සියලු ම දෙනා ඇඳිවත්, ඇඳුම් උනා ගලවා නිරිවස්ත‍්‍ර වෙති. මේ ටික සමහර ප‍්‍රදේශවල නොකරති. අමුඩය හෝ කොල අතු කැබැල්ලකින් විලි වසා ගනී. මේ නිසා වැහි බලියට ‘‘හෙළුවැලි බලිය’’ යැයි තවත් නමක් ලැබී ඇත. මෙතැන් සිට නොයෙකුත් භාණ්ඩලින් ශබ්ධ නොසරුප් කවි, යාතිකා කියයි. නැටුම් නටයි. මේ යාගය එකම ඝෝෂාවක් ලෙසින් මුළු ගම් ප‍්‍රදේශයටම ඇසෙයි. දේව රූප, කඹ, වැල් ආදියෙන් ගැට ගසාගෙන බිම දිගේ ඇදගෙන වැව් සිඳී ගිය මඩ කඩිත්තට ම පෙරහැරින් යති. මඬේ දමා පාගයි. නැවත වැව් බැම්මට ඇඳ ඒ මත මඩ, මැටි, වලින් බලි රූප අඔා දේව රූප යටපත් කරයි. සිරුරේ අඟපසඟ විකෘති ව දක්වා අපහාස කරයි. නානා ප‍්‍රකාර ප‍්‍රබන්ධකම් කියමින් වරුෂාව නුදුන් නිසා මේ දේ සිදු වූවා ය (www.divaina.com/2010/10/03/siya09.html).

නිල කාලයේ දි වැසි නොලැබුණහොත් ‘‘වැහි බලි යාගයම’’ කරති. මේ ගැන තොරතුරු ගැමි ජනඥානය ගැන විමසමින් නුවර කලාවියේ උතුරු දිග්භාගයේ තම්මැන්නා දිය තිත්තෑව හා නොච්වියාගම ප‍්‍රදේශයට ගිය ගමනේදි ලැබිණි. රජරට ගුවන් විදුලි සේවාවේ එවකට සේවයේ නියුතු ව සිටි හසල විද්වතකු, සාහිත්‍ය ධරයෙකු ජන පර්යේෂකයකු වු ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර සිරිමතුන් මේ කාරණාවේ උපස්තම්භක විය. එ සේ ම මේ හා සමාන කථිකාවක් නුවර කලාවියේ (කහගල) කොස්සෝගම ගමේ විසූ අප්පු උන්දැ කියාදුන් දේව වරුණාවක දී ද නවසිය පනහයේ දශකයේ දී කියැවිණි.

සුද්ද ලෙසට අඩුක්කු ගති මේ ගමේ මහ දෙයියෝ
නින්ද ගමේවන් විපතට පිටු පෑව ද දෙයියෝ
බද්ද රාළ අමුඩ කොටේ ගලවාගෙන අයියෝ
සද්ද නොකර වහං වුණයි ‘‘වැහිගම්පල’’ දෙයියෝ

පුළුටු මැටි රූපවල රූපීය ලක්ෂණ, ඇදහිලි හා විශ්වාසයන් හෙළුවැලි බලිය තුළ දක්නට ලැබෙන අතර යම් යම් වෙනස්කම් දැකිය හැකි වේ. ටෙරාකොටා මාධ්‍ය උපයෝගි කරගෙන මෙ වැනි මූර්ති නිර්මාණයට ද මානවයා පෙළඔුනේ එවකට සමාජයේ පැවති ආකල්ප අපෙක්ෂාවෙන් හා විශ්වාසයන් පදනම් කරගෙන ය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා තම වතාවන් සඳහා තැනු මැටි රූප අතර ලිංග රූප වලට ද වැදගත් කමක් හිමිවීම නිසා ලිංග වන්දනයකට හෝ වෙනත් ආගමික කටයුත්තකට ඒවා යොදාගත් බව සැලකිය හැක. පැවැත්ම පිළිබඳ ඔවුන් අතර වූ මතවාද පලකරමින් ස්තී‍්‍ර සහ පුරුෂ රූප තැනූ ඔවුන් ලිංග පමණක් මැටියෙන් තැනීමට ද පෙළඹී ඇත. මේ ලිංග රූප මුහුණක් වන පරිදි ඇස්, නාසය හා මුව හැඩගන්වා තිබුණු බව කිලිනොච්විය උතුරු කුලමෙන්, තච්ච අඩප්පන් වැව් කණ්ඩියෙන් හා සීගිරිය අසල ඉළුක්වැවෙන් ලැබුන සාධක වලින් පෙනීයයි (ගොඩකුඔුර 1980:7). ගිරි දේවිය හා දළ කුමාර නිරුවත් රූප බලියේ එහි ලිංග පවා නිර්මාණය කොට ඇත. මෙහි දී නිරුවත් වූ ලිංග දැක දේවියන් ලැජ්ජාවට පත් වී එය සෝදාගෙන යාමට වර්ෂාව ඇදහැලෙන බව ගම්මුන් පවසයි. අතීතයේ ද මෙ වැනි දේ අපෙක්ෂාවෙන් ටෙරාකොටා නිර්මාණය කරන්නට ඇත. ටෙරාකොටා පිළිස්සීමට ලක්කොට ඇතිමුත් බලි එසේ නොකරණු ලැබේ. නමුත් ටෙරාකොටා හා බලි නිර්මාණ එක අපෙක්ෂාවක් වෙනුවෙන් බව පැහැදිලි ය. අතීතයේ සිට මෙම ඇදහිලි හා විශ්වාසන් විකාශනය වෙමින් පැමිණ ඇති අතර ඒවා අද බලි ශාන්ති කර්ම ආශ‍්‍රයෙන් විද්‍යාමාන වේ.

2. කන්‍යා යාගය හෙවත් බෝදිලිමා බලිය

ශ‍්‍රී ලංකාවේ කිසිදු ප‍්‍රදේශයක දක්නට නොලැබෙන නුවර කලාවිටය පමණක්ම ආවේණික වු කන්‍යා යාගය හෙවත් බෝදිලිමා බලිය පිරිමි බෝදිලිමාට බය වී ලෙඩට දුකට පත්වීම නිසා එයින් මිදීමට මෙය පවත්වනු ලැබේ. මෙහි දි බෝදිලිමාගේ බලිය අඔනු ලැබේ. කාන්තාවන් හත් දෙනෙකු විසින් මෙය සිදුකරනු ලබයි. පුළුටු මැටි රූපවල දක්නට ලැබෙන විරූපි හා බහිරව රූපවලට සමානතාවක් හා ඇදහිලි හා විශ්වාසයන් ද බෝදිලිමා බලිය තුළ ද දක්නට ලැබේ.

කන්‍යා යාගයේ උපත් කථාව වනුයේ මහා සම්මත රාජය කාලයේ දල්ලජ නම් වු සෙනෙවියාට දාව එම බිසවට දරු ගැබක් ඇති විය. එම දරුවා ඉපදුණු හොත් සෙනෙවියාට ඉතා ම අපල තත්ත්වයක් හා භයානක ප‍්‍රතිඵල අත්විදින්නට සිදුවන බව බමුුණෝ ප‍්‍රකාශ කළහ. බමුණන්ගේ ප‍්‍රකාශය බොරුවක් බව නොදත් සෙනෙවියා එය විශ්වාස කර දරු ගැබ විනාශ කරන්නට තීරණය කළේය. මේ සඳහා හෙතෙම අංගුල නම් විෂ වර්ගය බිසවට දුන් බව කියති. මේ විෂ ශරීර ගතවීම නිසා දරු කළලය පමණක් නොව බිසව ද මරණයට පත්විය. ඇගේ මරණය සිදුවන අවස්ථාෙව් ඇය තුළ ස්වාමියා කෙරෙහි වෛරයක්, කෝපයක් ඇති විය. මරණයෙන් පසු ඇය බෝදිලිමා යක්ෂණිය ලෙස උපත ලැබී ය. එතැන් පටන් ඇය පිරිමින් කෙරෙහි වෛරයෙන් කල් ගත කළා ය. ඒ අනුව, කන්‍යා යාගය සිදු කරනු ලබන්නේ බෝදිලිමා ආවේශ වූ පිරිමින් සඳහා ය. දරුවෙකු ලැබීමට සිටි කාන්තාවක් සැමියා කෙරෙහි වෛරයෙන් මිය ගිය විට ඇය යක්ෂණියක් වී යැයි විශ්වාස කරති. මෙම යාගයේ සියලූ ම කටයුතු සිදුකරනු ලබන්නේ කාන්තාවන් පමණක් වීම මෙහි විශේෂ ලක්ෂණයකි (රත්නායක 20071:12).

පිරිමින්න සන්නට
වෙසමුනි වරන් ගපන්නට
සොයා ගියේ විමනට
වෙස් තුනක් දුනි රජුන් යකිනිට (මුදියන්සේ 2004:190)

කන්‍යා යාගයට ආවේණික වු පුදපූජා රටාවන්, සැරසිලි අංග හා ගායන, වාදන, නර්තන අංග දක්නට ලැබේ. බෝදිලිමා වැනි යක්ෂණියන්ට බය වීම නිසා කන්‍යා යාගය වර්තමානයේ ද පවත්වයි. නමුත් අතීතයේ ද පණ්ඩුකාභය රජු කල යක්ෂයින් හා යක්ෂණියන්ට පුදපුජා කළ බව අප කවුරුත් දන්නා කරුණකි. එබැවින් විරූපීය හා යක්ෂ මුහුුණු සහිත ටෙරාකොටා යක්ෂයින් හා යක්ෂණියන් ගෙන් සිදු වූ දෝෂ තුළින් මිදීමට එය නිර්මාණය කරන්නට ඇති බවත් සිතිය හැකි ය. අද වනවිටත් මෙවැනි යක්ෂයින් හා යක්ෂණියන් ගෙන් සිදුවන දෝෂයන් ගෙන් මිදීමට විරූපීය හා යක්ෂ මුහුුණු සහිත බලි නිර්මාණය කරනු දක්නට ලැබේ. ටෙරාකාටා වල ද විරූපීය හා යක්ෂ මුහුුණු සහිත නිර්මාණයන් හමු වේ.

ශී‍්‍ර ලංකාවේ බොහෝ ශාන්ති කර්ම අවසානයේ ඊට උපයෝගී කොටගත් පූජා භාණ්ඩ හෝ සැරසිලි ගංගාවකට හෝ ගලා යන දිය දහරකට හෝ දැමීම සිරිතකි. නො එසේ නම් එම විනාශ කරන ලද පූජා භාණ්ඩ කිසිවෙකුගේ පාදවලට නොපෑගෙන ස්ථානයකට දමති. පුනා මඩුවේ දී පුනාව බිඳිනු ලබන අතර, සුනියම් යාගයේ දී සුනියම් වීදිය විනාශ කරනු ලැබේ. බලි යාගවල අවසානයේ දී බලි උගුල්ලා නිවසින් පිටත කිසිවෙකුට දර්ශනය නොවන ස්ථානයක සිටුවා තබති. සමස්තයක් ලෙස සලකා බැලීමේ දී බොහෝ ශාන්ති කර්ම අවසානයේ දී ප‍්‍රධාන ඇඳුරා විසින් එකී යාගයට අයත් සැරසිලි හෝ පුජා භාණ්ඩ යම් ප‍්‍රමාණයකින් හෝ කඩා බිඳ දැමීම සිරිතකි. මහසොහොන් සමයම ශාන්ති කර්මයේ දී මැටියෙන් අඹන මහසොහොන් බලිය හෝ දරුගැබ් ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්වන කඨින බලියේ දී බඩදරු ස්තී‍්‍රයගේ බලිරූප හෝ විනාශ නොකරති. කන්‍යා යාගයේ පවත්නා විශේෂත්වය වන්නේ එකී යාගයට භාවිත කළ හා ඊට එක එල්ලේ ම සම්බන්ධ වන ප‍්‍රධාන හා එක ම යක්ෂණිය වන බෝදිලිමා යක්ෂණියගේ බලිය කඩුවකින් කපා කොටා විනාශ කිරීමයි. එයින් නොනවතින ඇඳුරිය ඉට ඉලපතකින් තෙවරක් පහර දෙන අතර ඊට ජීවම් කරන ලද තෙල් ද තෙ වරක් ඉසිනු ලැබේ. මෙහි දී ඇඳුරියගේ සිත තුළ පැවති වෛරය හා පලිගැනීමේ ස්වභාවය විෂධ වන්නාක් මෙන් එකී යක්ෂණියගේ උවදුර විනාශ කළ බව ද දෘශ්‍යමාන වේ (රත්නායක 2007:150).

3. කඩවර කංකාරිය

ලක්දිව උඩරට ප‍්‍රදේශයේ විශේෂ වු ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මය කඩවර යක් කංකාරියයි. උඩරට ගැම් ජනතාවගේ ඇදහිලි, විශ්වාසයන්, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප‍්‍රභවය ලබා ඇති මෙකී යක් කංකාරිය රට යකුමෙන් පහරට ප‍්‍රභවය ලබා ඇති මෙකී යක් කංකාරිය රට යකුමෙන් පහතරට ජනතාවටත් කුමාර සමයම මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වු සමාජ මෙහෙවරට සමගාමි වු සමාජ මෙහෙවරක් නිහඬ ව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකි ය. කඩවර හුදු ගර්භ සංරක්ෂණයට පමණක් සීමා වු ශාන්ති කර්මයක් නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සා වීම, නියමිත කාලයට මාස් ශුද්ධිය ඇති නොවීම, කිලි මාලය, ලේ මාලය වැළදීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම් දෝෂ, ඇඟ වෙව්ලීම ආදි ස්තී‍්‍රන් හා සම්බන්ධ වු දහසකුත් එකක් ලෙඩ රෝග හා සබැඳි යක්කාරියකි. එ මෙන් ම දරු ප‍්‍රසූතය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක් සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවර ය. උක්ත උවදුරු වලින් කාන්තාවන් නිදහස් කර ගැනීමට කඩවර පුදා පූජා දොළපිදේනි පුදා තුන්තිස් පැයක් මුළුල්ලේ අංග සම්පුර්ණ ව කඩවර යක් කංකාරියක් පැවැත්විය යුතු බව ඇඳුරු තරයේ විශ්වාස කරති (www.divaina.com/ 2010/01/06/feature04.html). ස්ත‍්‍රී ටෙරාකොටා මූර්ති වල ද ශරීරයේ අවයව ඉස්මතු කර දක්වා ඇත්තේ ඉහත දක්වා ඇති ආකාරයට අද්භුත බලපැම් වලින් කාන්තාවන්ට වන ලෙඩ රෝග අපල උපද්‍රවයන් ගෙන් ආරක්ෂාව පතා විවිධ අභිචාරයන් සිදු කිරීමට වුවා විය හැකි ය. ඇතැම් විට ස්ත‍්‍රී හා පුරුෂ රුව විරූපීය කරන්නට ඇත්තේ විවිධ වූ යක්ෂයින්, යක්ෂණියන්, දෙවිදේවතාවන් හා නොපෙනෙන බලවේගයක් පෙන් වීමට විය හැකි ය.

4. ගම්මඩුව

සබරගමු ප‍්‍රදේශයේ පත්තිනි දේවාලයන්හි ඉටු කළ වාර්ෂික පූජාවක් ලෙස පහන් මඩුව හැඳින්විය හැකි ය. මේ චාරිත‍්‍රය පසු කාලීන ව දේවාලයෙන් ගමට සංක‍්‍රමණය වීමෙන් පසු, ඊට ගම්මඩුව යන නම භාවිත කෙරිණි. පහන් මඩුව ශාන්ති කර්මයේ අන්තර්ගත පූජා විධි පෙළ ගම්මඩුව හා ගිනි මඩුව යන යාතුකර්ම දෙකෙහි ම ඇති බව දක්නට ලැබේ. ගම්මඩුව ගමෙහි පවත්වන හෙයින් ද, ගිනි මඩුව ගිනි පෑගීම ප‍්‍රධාන කොට කෙරෙන හෙයින් ද, එකී නම්වලින් හැඳින් වූ බව පෙනේ. ගමෙහි සියලු දෙනාගේ ම සහභාගිත්වය ඇති ව මුළු ගමට ම සෙත් පතා ගමෙහි පොදු ස්ථානයක තැනූ මඩුවක පැවැත්වෙන හෙයින්, එකී පූජා කර්මය ගම්මඩුව යන නමින් ව්‍යවහාරයට පැමිණි බව කිව හැකි ය (සබරගමු වංශ කථාව 2003:927). ගැමියන් විසින් මෙම ශාන්ති කර්මය සිදු කරනු ලබන්නේ ගොවිතැන් කටයුතු සශී‍්‍රක කර ගැනීමත්, දේවාශීර්වාදය ලබා ගැනීම හා වඳුරු වසංගත වලින් ආරක්ෂාව පතා වේ. සමන්, නාථ, දැඩිමුණ්ඩ, විෂ්ණු ආදි සතර වරම් යන දේව සංකල්පය මෙහි පුදපූජා ලබන අතර පත්තිනි දේවිය ප‍්‍රධාන වේ. එ මෙන් ම කුරුම්බරයින්ට හා දොවොල් දෙවියන්ට ද වැදගත් ස්ථානයක් හිමි වේ.

ටෙරාකොටාවල ඇඳහිලි හා විශ්වාස ගම්මඩුව තුළ ද දක්නට ලැබේ. මරදන් මඩුව, ඉලූක් වැව, පන්ස්ලවෙල සහ උතුරුපුරම් යන ස්ථානවලිින් මේ වස්තු සොයා ගන්නා විට ඒවායින් බොහෝමයක් සන්ධාරකයන්ගෙන් කැඞී වෙන්ව තිබුණු බැවින්, මුල දී සිතුවේ, ගැමියන්ගේ අරපරිස්සමක් නැති කැනීම නිසා එබඳු අලාභහානි සිදු වූ බව ය. එසේ වුව ද, කැඩුම් බිදුම්වල පෘෂ්ඨයේ බැදි තිබුුණු මල බෙහෙවින් පරණ වී තිබුණු හෙයින්, ඒවා මෑත කාලයක දි නොව අති පුරාණ කාලයකදි බැඳුණු බව නිගමනය කළ හැකි විය. ඉන් පසු කාලයෙහි හොකාර්ට් විසින් ඉතා පරස්සමින් කැන ගන්නා ලද භාණ්ඩ ද ඒවා ඉවත දමන ලද කැබැලි යැයි සිතීමට ඔහුට තුඩු දෙන තරමට කැඞී බිදී තිබුණේ ය. දැන් බැසගෙන ඇති නිගමනය වනුයේ වර්තමානයේ ගම්මඩුවේ සහ කොහොඹා කන්කාරියේ පූර්වගාමීය යැයි සැලකිය යුතු උත්සවයක අංගයක් වශයෙන් ඒවා සිතාමතාම කඩා බිඳ දැමූ බවයි (දැරණියගල 1944:27).

5. කඨිනා බලිය

තොට යක්ෂයා මුල්කරගෙන පවත්වනු ලබන මෙම බලියාගය සබරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ බලංගොඩ ප‍්‍රදේශයේ කාන්තාවන් අරභයා සිදුකරනු ලබයි. නූල් කටිමින් සිටින ගර්භණී කාන්තාවකගේ රුවක් මූර්තිමත් කරයි. මංගර දෙවියන් ප‍්‍රධාන ව සමන්, කතරගම, ඊශ්වර, ගම්භාර, විෂ්ණු, නාථ හා පොළෝ මහී කාන්තාව ද පුද ලබති. අනෙකුත් ශාන්ති කර්ම වල මෙන් මෙහි දී ද පූර්ව චාරිත‍්‍ර හා පූජා අනුපිළිවෙලකට සිදු වේ. පුටුවක් මත වාඩිවී දෙපතුල් පහළට එල්ලාගෙන සිටින ගැබිණි කාන්තාවකගේ ස්වරූපයක් දැක්වෙන පරිදි නිර්මාණය කෙරෙන මෙම බලිය දිවයිනේ සබරගමුව හැර වෙනත් සම්ප‍්‍රදායන් වල දක්නට නොලැබේ.

කඨිනා බලිය පැවැත්වීමේ පරමාර්ථයෙන් ම එම චාරිත‍්‍ර හා සමානත්වයකින් සබරගමු පළාතේ ඇතැම් යකැදුරන් අතර පවත්නා ශාන්ති කර්මයක් ලෙස යස්සසගිරි බලිය හැඳින්විය හැකි ය. කඨිනා බලිය වෙනුවට අඹන ලද කාන්තා රූපයේ උරහිස දෙපස විකා සිටින රීරි යක්ෂයා හා යක්ෂණියගේ රූප අඔා ඇත. පූජා විධි පැවැත්වීෙම් දී කඨිනා බලියට සමාන චාරිත‍්‍ර ඊට කරන අතර යස්සගිරි බලියට නියමිත දොළපිදේනිය කැපකර දීමෙන් පසු ආතුරයාට සෙත් කරවා රීරි යක්ෂා වෙනුවෙන් දරුහැවේ දපා සොහොන් පලකට ඔසවාගෙන යාමේ සිරිතක් පවතී. උඩරට පළාතේ පවත්වන කඩවර කංකාරියේ දී ද කාන්තාවන් උදෙසා යස්සගිරි බලියක් නිර්මාණය කරන බව මුදියන්සේ දිසානායක මහතාගේ අදහසයි (ශි‍්‍රයාණි 2000:59).

මිටි රියනක් උස පුටුවේ ඉඳගෙන
සැටි ලක්ෂණ රන් රුව සේ බබළන
මැටිගෙන අඹමින් දෙව්රුව විලසින
මිටිරන් පුටුවේ ඉඳ වලූ කටිමින (ඒම :57)

රතනපුර දිස්ති‍්‍රක්කයේ බලංගොඩ, හල්පේ, වෙහෙරගොඩ, මියනවල ආදී ප‍්‍රදේශවල දක්නට ලැබෙන ශාන්ති කර්මයක් ලෙස කාන්තාවන් උදෙසා මෙම ශාන්ති කර්මය පවත්වනු ලැබේ. යම් කාන්තාවන් උදෙසා මෙම ශාන්ති කර්මය පවත්වනු ලැබේ. යම් කාන්තාවකට දරු ගැබ කිහිප වරක් ගබ්සා වීමෙන් දරුඵල අහිමි වන්නේ නම් එය තොට යක්ෂයාගේ් උවදුරක් යයි විශ්වාස කෙරෙන ඇදුරෝ ඇය වෙනුවෙන් කඨිනා බලියක් තනා තොට යකාට පුද දී ශාන්තිය අපෙක්ෂා කරති. යාගය ආරම්භයේ සිට සුදු රෙදි කඩකින් වසා තබන බලියට මල්පහන් දොළබත් පුදා කඩතිර ඇරීමේ කවි ගායනා කෙරේ. අනතුරු ව කඩතුරාව ඉවත් කරනු ලබන අතර බලි රූපය වසා තබන සුදු රෙද්ද ද ඉවත් කරයි. මෙහි දී අවසානයේ කන්‍යා යාගයේ දී මෙන් බලිය කපා කොටා විනාශ කිරීමක් සිදුනොකරන අතර එම දරුහැව හා කඨිනා බලිය තුමංසලකට හෝ සොහොන් පිටියක් වැනි ස්ථානයකට ගෙන ගොස් කඨිනා රූපය මුණින් අතට සිටිනසේ පෙරළා දැමීම සිරිතක් ව පවතී (ශි‍්‍රයාණි 2000:138-188). ටෙරාකොටා වල දක්නට ලැබෙන ඇතැම් රූපීය ලක්ෂණ හා ඇදහිලි හා විශ්වාස මෙය තුළ ගැබ්ව ඇත. නමුත් බලිය නිර්මාණයේ ප‍්‍රමාණයෙන් ටෙරාකොටා හා සමානව වෙනස්කම් සිදු වුවද කඨිනා බලියේ අරමුණ හා ටෙරාකොටා හා සමානකම් දක්නට ලැබේ. ස්ත‍්‍රී මූර්ති ටෙරාකොටා තුළින් මාතෘත්වය දනවන අතර කඨිනා බලිය තුළින් ද මාතෘත්වය දනවයි.

6. කුමාර සමයම

සබරගමු පළාතේ ගර්භ සංරක්ෂණය හා බැඳුණු ප‍්‍රධාන යක් තොවිලය කුමාර සමයමයි. මෙම යාගය වට කුමාර සමයම, වට යක්කාරිය, වටයක් තොවිලය, කුමාර යකුම, කුමාර තොවිලය යන නම්වලින් ද හඳුන්වනු ලැබේ. එහෙත්, සබරගමු ඇදුරන් අතර වඩාත් ප‍්‍රචලිත වන්නේ කුමාර සමයම යන නාමයයි. දරුවන් නැති කාන්තාවනට දරුගැබ් අපෙක්ෂාවෙන් සහ දරුගැබ් පිහිටි කාන්තාවන්ට එම දරුගැබ ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ශාන්ති කර්මය පවත්වනු ලැබේ. මෙහි දී අවස්ථා තුනකින් ආතුර කාන්තාව යාගය පැවැත්වීම සඳහා ගැනේ.

  1. දරු ගැබක් අපෙක්ෂාවෙන් සිටින කාන්තාවක්
  2. ගැබ්ගත් කාන්තාවක්
  3. දරුවකු හා මවක් යනුවෙනි.

මේ අනුව කුමාර සමයමක් පැවැත්වෙන්නේ පහත සඳහන් කරුණුවලින් එකක් ඉටුකර ගැනීම පිනිස බව අමතක නො කළ යුතු ය.

  1. ගර්භණීකරණය
  2. ගර්භ සංරක්ෂණය
  3. දාරකෝත්පත්තියෙන් පසු දරුවාට රැකවරණ සැලසීම

ශී‍්‍ර ලංකාවේ ගර්භ සංරක්ෂණය සම්බන්ධයෙන් පවත්වනු ලබන සෑම ශාන්ති කර්මයක දී ම පුද ලබනුයේ කළුකුමාර යක්ෂයා, දෙවියා ය. එහි දී කළු කුමාරයා හඳුන්වන නිත්‍ය නාම පහ බව පැවසේ (සබරගමු වංශ කථාව 2003:939). ශ‍්‍රී ලංකාවේ මේ තාක් හමු වී ඇති ස්ත‍්‍රී ටෙරාකොටා නිර්මාණයන් දෙස බැලීමේ දී ඉහත ශාන්ති කර්මය හා සමානව කාන්තාව වෙනුවෙන් එ කල ද ගර්භ සංරක්ෂණය වෙනුවෙන් පුදපූජා පවත්වන්නට ඇත.

7. රිද්දි යාගය හෙවත් රටයකුම

රටයකුම, රිද්දි යාගය හෙවත් රිද්දි සමයම යන නම්වලින් හඳුන්වන මෙම ශාන්ති කර්මය පහතරට පළාත්වල යකුන් උදෙසා පවත්වනු ලබන ප‍්‍රධාන ශාන්තිකර්ම අතර විශේෂත්වයක් උසුලන්නකි. ඒ කරුණු දෙකක් අරභයා ය. ඉන් පළමු වැන්න ලෙස හැෙඟන්නේ කාන්තාවන් උදෙසා යකුන් විෂයෙහි පවත්වන එකම ශාන්තිකර්මය මෙය වීම යි. සිංහල නර්තන කේෂත‍්‍රයේ භාව පුර්ණ නාට්‍ය ගති ලක්ෂණ අන්තර්ගත එකම සිංහල ශාන්තිකර්මය වීම දෙවැන්නයි. වඳ ස්ත‍්‍ර‍්‍රීන් දරුවන් ලබා ගැනීම වෙනුවෙන්, දරුවන් පිළිසිෙඳන නමුත් අතුරු ආන්තරාවලට ගොදුරු වී ගැබ අතර මග විනාශ වන කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසාත්, පිළිසිඳුණු ගැබෙහි ආරක්ෂාව ලබා යහතින් දරු උපත් සිදුවීමත්, යන කරුණු අරභයා රිද්දි යාගයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතයි (කෝට්ටගොඩ 2003:33). පහතරට රිද්දි යාගය, රජරට කන්‍යා යාගය, සබරගමු කුමාර සමයම ආදි ශාන්ති කර්ම තුලින් ප‍්‍රජනනය අරමුණුු කරගත් ශාන්ති කර්ම බව ද කිව හැකි ය. අතීත ජන සමාජයේ දරු ප‍්‍රසුතිය පිළිබඳ නිසි උපදෙස් නොලැබීම නිසා මොවුන් මෙ වැනි අභිචාරයන්ට පුරුදු වී එයින් පිහිට අපෙක්ෂා කරන්නට ඇත. ටෙරාකොටා නිර්මාණයන් ගේ ඇදහිලි හා විශ්වාසයන් ද මේ තුළ ද ගැබ්ව ඇති බව පසක් වේ.

උපත් කථාව වනුයේ මහාමෙරුව පළාගෙන හටගත් ගිනි පුපුරු හතකින් මුදුන්මාල, රිද්දි, කොණ්ඩමාල, රණකපාල, ගිරිමේඛල, ධර්මපාල, ගිරිමේඛල, යන බිසෝවරු සත්දෙන උපන් හ. මොවුහු සොළොස් වයස පසු කළ මුත් දරුවන් නොලද බැවින් දරු උපත් අපෙක්ෂාවෙන් වේදනාවෙන් කල් ගෙවුහ. දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පුජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කර ගැනීමට කටයුතු කළහ. නේරංජනා නදියට ගොස් හිස නානු ගා ස්නානය කොට සළුපිළි හා ආභරණ පැළඳ, දලූ බුලත් අනුභව කොට, නැව් නැග ලක්දිව උස්සන්ගොඩ ප‍්‍රදේශයට ගොඩ බැස්සහ. එහි දී බිසෝවරු හේනක් කොටා, කපු වපුරා, අස්වැන්න ලබා සළුවක් වියා දීපංකර බුදුන්ට පූජා කළහ. එම අනුහසින් දරු ගැබ් පහළ වූ බව කියවෙයි. මෙම කථා පුවත ශාන්තිකර්මයේ දොළහ පෙළපාලිය හා කපු යක්කාරිය යන අංග ඔස්සේ නිරූපණය කෙරේ. ඒ හා සම්බන්ධ වු තවත් කථා පුවතකට අනුව දරු ගැබ් පහළ වීමෙන් පසු ආභරණ ඇල්ලට දිය නෑමට යාමේ දී රොඩියෙකු ස්පර්ශ වීම නිසා බිසෝවරුන් ඇල්ලේන් පැන මිය ගොස් යක්ෂණියන් වී උපත ලද බව කියවෙයි. දරුවන් කෙරේ අසාවෙන් මිය ගිය බැවින් කාන්තාවන්ට වඳ බව ඇති කෙරෙන බවත් සඳහන් වේ. රට යකුම හා සම්බන්ධ පුරාවෘත්ත තවත් ආකාරයෙන් ජනශ‍්‍රැතියේ එයි. මහාමේරුව හෙවත් රන් ගිර කුටයේ හට ගත් ගින්නකින් රිද්දි බිසව උපන්නා ය. වැඩිවියට පත් ඇය මහා බ‍්‍රහ්මයාගේ අඹුව බවට පත් වු අතර දූවරුන් සත් දෙනෙකු ලැබුවා ය. පසු ව, මහා බ‍්‍රහ්මයා ඇය අතහැර දමා ගියෙන් තමා සමඟ උපන් අවශේෂ යකුන් සමඟ එක්ව වෙසමුණි රජුගේ පිරිසට එක් වුවා ය. එහිදී ඇය වෙසමුණි රජුගෙන් වරමක් ගෙන කළු කුමාරයා සමඟ එක්ව කාන්තාවන්ට ළදරුවන්ට රෝග පමුණුවමින් දොළ පිදේනිය ලැබීමට යොමු විය. ඔවුහු වෙසමුණි රජුගේ අණ නොසලකා කටයුතු කළ හෙයින් අසුර ගිර පර්වතයට නෙරපා හැර දොළොස් වසරක් දුක් වින්දහ. දීපංකර බුදුන්ගෙන් වරම් ගෙන කාන්තාවන් වඳ බවට පත් කර දොළ පිදේනි ගැනීමට යොමු වු බව කිය වේ (si.wikipedia.org/wiki/).

දරුවන් අපෙක්ෂාවෙන් ද දරුවන් ලැබුණු පසුව ද බලි ශාන්ති කර්ම සිදුකරනු ලැබේ. ස්තී‍්‍ර මූර්ති හැරණු විට ආගමික විශ්වාසයන් පිළිඹිඹු කරවන තවත් විවිධ ටෙරාකොටා මූර්ති ඇත. සත්ත්ව රූප, විවිධ මිනිස් රූප, මිනිස් ශරීරාංග හා වෙනත් රූප ඒ අතර වේ. චාල්ස් ගොඩකුඔුර සහ ජයතිලක යන විද්වතුන් දෙදෙනා ම මෙම ටෙරාකොටා මූර්තින් ප‍්‍රජනනය සහ සශී‍්‍රකත්වය හඟවන අභිචාර වලට සම්බන්ධ බව අදහස් කරති. ඔවුන් එවැනි අභිචාර වල ස්වරූපය හෝ ඒවායේ දී ටෙරාකොටා මූර්ති සඳහා හිමි ව තිබූ වැදගත්කම කෙබඳු ද යන්න විග‍්‍රහ කොට නැත. සම කාලීන ශ‍්‍රි ලාංෙක්ය ආගමික සන්දර්භය කෙරේ ටෙරාකොටා මාධ්‍යයෙන් ඉටු වූ කාර්යය භාර්යය පිළිබඳ පි.ඊ.පී දැරණියගල විසින් වඩාත් පිළිගත හැකි ආකාරයේ නිගමනයක් ඉදිරිපත් කරනු ලැබ ඇත. වර්තමානයේ පවා සිංහල ගම්මාන වල ව්‍යවහාර පවතින සශී‍්‍රකත්වය පතා සිදු කරන මඩු ශාන්ති කර්මයට සමාන ශාන්ති කර්ම විශේෂයක් සඳහා මෙම ටෙරාකොටා මූර්ති උපයෝගි කර ගන්නට ඇත. මෙම ශාන්ති කර්ම වල දී මිනිසුන්, සතුන් සහ ශාක නිරූපණය කෙරෙන ටෙරාකොටා මූර්ති ද, එ මෙන්ම සුවය පතා දෙවින් වෙත භාර හාරවීම වශයෙන් ඔප්පු කරන ලද පූජා භාණ්ඩ ද ,අබාධයන්ට ලක්වූ පුද්ගල අවයවයන්හි ආදර්ශ මූර්ති ද, උත්සවයට සභාගි වන්නන් විසින් කපුරාළට දෙන ලදුව ඔහු විසින් ඒවා ශාන්ති කර්මය අවසානයේ දී දොළ පහරක් හෝ ගංගාවක් අසලට හෝ ගොස් එකවර බිඳ දමා දොස් දුරු කිරිමේ වාරිත‍්‍රයක් පවතින්නට ඇත (ප‍්‍රගීත් 2014:03-17).

8. කිරිමඩුව

ගවයා යනු ශි‍්‍ර ලාංකික කෘෂි ජීවිතයේහි නැතිව ම බැරි වූ සත්ත්වයෙකි. තාක්ෂණික ලෝකයේ දියුණුවක් ඇතිවන්නට පෙර කෘෂි ජීවිතයට සම්බන්ධ බොහොමයක් අවශ්‍යතා පුර්ණය කර ගැනීමට ගවයාගෙන් ලැබුනේ නොමඳ සහයකි. වී ගොවිතැනට අවශ්‍ය වූ සහයෝගයට අමතරව ජනතාව පෝෂණය කිරිමේ දී කිරි ලබාදීමත්, ශාඛ පෝෂණය උදෙසා ගොම පොහොර ලබාදීමත් ප‍්‍රවාහන කටයුතු ඇතුළු බර රැසක් ඉසිලීමේ කර්තව්‍යයක් ගවයාගෙන් හා කිරි එළදෙනගෙන් ඉටුවුණි. ගොම මැටි සමඟ කලවම් කර ගෙමිදුලෙහි ආලේප කිරීමෙන් අපේකෂා කරන ලද්දේ පවිත‍්‍රත්වයයි (කෝටිටගොඩ 1995:21). සබරගමු ශාන්ති කර්ම අතර සත්ව වර්ගයා වෙනුවෙන් පවත්වනු ලබන ශාන්ති කර්මය මෙය වේ. හරක් පට්ටිවල ඇතිවන්නා වු ලෙඩරොග පිඩාවන්ගෙන් ගව සම්පත ආරක්ෂා කර ගැනීම උදෙසා මෙම ශාන්ති කර්මය පවත්වනු ලැබේ. ගව සම්පත ආරක්ෂා කිරීමේ අරමුණින් පවත්වන්නා වු කිරිමඩු යාගයෙහි පුද ලබන ප‍්‍රධාන දෙවියා වූ මංගර වන ජීවිතයට හුරු වූ වන සතුන් සමඟ කෙළිදෙලෙන් ගතකරන වන සතුන් ට විශේෂ ඇල්මක් දක්වන ලද තැනැත්තෙකි. බද මනට විශේෂ දස්කම් මංගර, කදිරා ගොඩ ප‍්‍රදේශයෙහි ගවයන් විනාශ කරන ලද්දාවු මීමා බැඳීමේ කාර්යයට හවුල්ව මීමා ගෙන් මැරුම් කන ලද බවත්, ඉන්පසු මංගර නමින් පුද පූජාවට ලක්වී ඇති බවත් උපත්ති කථාවෙන් හෙළි කෙරේ (එම 22-23).

වියළි කලාපයේ කෘෂිකාර්මික බිම් වලින් හා වැව් ආශි‍්‍රත ප‍්‍රදේශවලින් වැඩිපුර ගවයාගේ ටෙරාකොටා මූර්ති හා වෙනත් සතුන්ගේ මූර්ති හමු වී ඇත. මෙහි දී මොවුන් ගවයා යම්කිසි ඇදහීමකට හෝ විශ්වාසයකට පදනම් කරගෙන පුද පූජා පවත්වන්නට ඇත. එ මෙන් ම හින්දු ආභාසය ද මෙයට ලැබෙන්නට ඇත. වර්තමානයේ ද මෙ වැනි ශාන්ති කර්ම පවත්වනු ලැබේ. භාරතයේ පැවති මෙකී පුදපූජා වලට අනුකුල ව නොවුවත් ගවයාගෙන් හා කිරි එළදෙනගෙන් සිංහල ජනතාවට සිදුවන්නා වූ අනුපමේය මෙහෙය හේතු කොටගෙන ගවයා සුරක්ෂිත කිරීමේ කාර්යයෙහි සිංහලයා නියුතු වී ඇති බැව් කිරි මඩුව ශාන්තිකර්මයෙන් ගම්‍යමාන වේ. ගවයාට වැදුම්පිදුම් කිරීම කෙසේ වෙතත් උපහාර දැක්වීම පරම පිවිතුරු චේතනාව කොටගත් සිංහල බෞද්ධයා තුළ පැවති කෘතගුණශීලිත්වය ඉන් පැහැදිලි වේ.

9. පූනා මඩුව

පූනා මඩුව ගෘහස්ථ පූජාවකි. වස්දොස් නැති කර ගැනීම මෙම යාතුකර්මයේ අරමුණු ය. පූනාව නම් වු උපකරණය මැටියෙන් තනා පුළුස්සා ගත් ඝට විශේෂයකි. සැෙඬාල් මුහුණු සතරක් හා නයිපෙන සතක් ද, කෙම් දොළසක් ද අඔා සකස් කරන ලද පූනාවෙහි විස්තර, පූනා මඩුපුරය නමැති කවි පන්තියෙන් කියැ වේ. පූනාව පිළිබඳ ව විස්තර සබරගමු සම්ප‍්‍රදායේ ලියැවුණු අත් පිටපතක හමු වී තිබේ (සබරගමු වංශ කථාව 2003:928). ගම්මානවල ජීවත්වන ගැමියන් විසින් එකතු වී මෙම ශාන්ති කර්මය සිදු කරනු ලැබේ.

විජය රජු හා කුවේණිය මුල් කරගෙන මෙහි උපත් කථාව බිහි වී ඇත. කුවේණි හා විජය රජු අතර වූ පොරොන්දුව විජය රජු කඩ කළෙන් ඔහු කෙරෙහි කුවේණිය වෛරයින් පසු වී ඇය වීදුරු දිවක් මවාගෙන විජය රජු විනාශ කිරීමට තැත් කළ අවස්ථාවේ ඒ බව දුටු දෙවියන් වීදුරු දිව සත් කඩක් කොට කරඬුවක බහා පර්වතයක තැබූ බව පුරාවෘත්තයේ සඳහන් වේ. මෙහි දී සමන්, නාථ, කතරගම, විෂ්ණු, දැඩිමුණ්ඩ, පත්තිනි, සතරවරම් දෙවිවරුන් හා සපිරිවාර දෙවිවරුන් පුද ලබති. පත්තිනි තොරණට ඉදිරියෙන් පූනා විදිය නැමති සැරසිල්ලක් ද නිර්මාණය කරනු ලැබේ. මෙයටම ආවේණික ව පුද පූජා හා සැරසිලි අංග දක්නට ලැබේ.

රෝග නිවාරණය සඳහා ද, සමාජ ජීවිතයේ සහ කෘෂිකර්මයේ සෑම අංශයකම සමෘද්ධිය සහ සෞභාග්‍යය සඳහා ද, අදත් සබරගමු පළාතේ පවත්වනු ලබන ගම්මඩු උත්සවය සම්බන්ද ලූහුඬු විස්තරයක් කීරීම මේ අවස්ථාවේදී අවශ්‍ය වේ. මේ උත්සවයට කොහොඹා කන්කාරිය වැනි භුත ආගමික නැටුම් ඇතුළත්ය. මොණරපිල්, දැල්වූ පන්දම් සහ කොහොඹ අත්තක් බැහු විශාල කළයක් වන කොහොඹ කළය හිසේ තබාගෙන නැටීම ද, පොල් සහ නැවුම් මැටිබඳුන් පොළොවේ ගසා බිඳීම ද මීට ඇතුළත් වේ. බොහෝ විට ගම් කීපයක් මේ උත්සවයට සහභාගි වන්නේ ය. මිනිසුන්ගේ සහ සතුන්ගේ ටෙරාකොටා රූප ද , බොහෝ විට ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ඇතුළත් නැවුම් මැටි බඳුන් ද රුවට රුව ඔප්පු කිරීම් වශයෙන් දෙවියන්ට වූ භාර සඳහා උපද්‍රවෝපගත අංග ප‍්‍රත්‍යංගවල අනුරූ ද ගම්මඩුව පොළ කරා ගෙන එති. එහි සිටින කපුරාළ ඒවා පිළිගෙන අඩි හයක් පමණ දික්වූ ද, අඩි 5ක් පළල් වූ සහ අඩි 3ක් පමණ උස් වූ ද මැටි පිළක් මත තැන්පත් කරයි. එහි ඉඩ පිරුණු පසු පූජාවස්තු වරින් වර ඉවතට ගෙන බිම ගොඩ ගසනු ලැබේ. උත්සවය අවසානයේ දී, හැලි වළං, සියල්ල ම කපුරාළ විසින් දිවි පූනාවේ ගසා පොඩි කරනු ලැබේ. පූනාව යනු දිව්, මිනිස්, ගොන්, නාග, ආදින්ගේ රූප රාශීයකින් සහ කෙම් දේපලකින් ද යුතු පදම් කළමැටි බඳුනකි. මෙහි කෙම් පාවිචිචි කරනු ලබන්නේ පොල්මල් කොපු තීරුවල පාන්කඩ ඔතා සාදනු ලබන පන්දම් ගැසීමට ය. මේ පූනාව සජීවි ගොනෙකුගේ නළලේ ගසා පොඩි කරනු ලැබේ. පූනාව මත දිවියෙකුගේ රූපය තිබීම වෙසසින් සැලකිය යුතු වන්නේ දිවි ශබ්දයේත්, දිව්‍ය ශබ්දයේත් ඇති සමානත්වය නිසාය. දිවිදෝස යන්නට වසූරිය කියා හෝ දෙවිදෝස කියා හෝ අර්ථ කිව හැකියි. 19 වැනි කි‍්‍රස්තු සියවස තෙක්ම වසූරි රෝගය වැළදුන උන්ගේ ගඳ අසා කැලයේ දිවියන් ඒම මින් පළමුවැනි අර්ථයට හේතු වේ. දෙවියන් උදහසවීම නිසා ඇතිවන උපද්‍රව යන්න දෙවැන්නෙන් අදහස් වේ (දැරණියගල 1944:40).

තම පරිසරය ඉක්මවා කටයුතු කිරීමට තැත් කරමින් කිසියම් ස්ථාවරත්වයකින් යුතු ජන සංස්කෘතික පදනමක් ගොඩනඟා ගැනීමට වෑයම් කළ මානවයාට, එම පරමාර්ථය ඉටු කර ගැනීමට අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන්නට ඇත. ජීවත්ව සිටිය දී භාවිත කළ ද, මළ සිරුර සමඟ තැන්පත් කිරීමේ පුරුද්ද මොවුන්ගේ අවමංගල්‍ය චාරිත‍්‍රවාරිත‍්‍ර වන අතර ප‍්‍රජනනය, සෞභාග්‍ය, සශී‍්‍රකත්වය අපෙක්ෂාවෙන් මෙවැනි රූප තනන්නට ඇති බව අපට අනුමාන කළ හැකි ය. පෝෂණය-කිරි යන සංකල්පය මත පදනම්ව නිමැවූ බැවින් කාන්තා රූප කැපී පෙනෙන අයුරින් නිර්මාණය කළ පියයුරු, කලවා සහ උදර වලින් සමවන්විත වුව ද ලාලිත්‍යවත් බවත් හෝ කිසියම් නිර්මාණාත්මක ලක්ෂණ, විශේෂ තාක්ෂණයක් හෝ පිළිඔු කරන්නේ නැත. ඉතා සරල ව නිර්මාණය කර ඇත. මෙවැනි කාන්තා රූප උඩවලව, විල්පත්තුව, රජගල, මිහින්තලේ, මහියංගනය රාජාංගණය ආදි ස්ථානවලින් ලැබී ඇත. ස්තී‍්‍රපුරුෂ රූප හා ලිංගික පුළුටු මැටි රූප තුළින් සශී‍්‍රකත්වය, ලිංගිකත්වය, දරුසම්පත් හා නොයෙක් ආගමික විශ්වාසයන් ජනිත වනඅතර බලි ශාන්තිකර්ම තුළ ද දක්නට ලැබේ. හරප්පා ශිෂ්ටාචාරයේ එවක විසූ මිනිසුන් ජගත් මාතාවට පුදපූජා පැවැත් වුයේ සශ‍්‍රීකත්වය අපෙක්ෂාවෙන් බවට සාධක ලැබී තිිබේ. හරප්පා සභ්‍යත්වයට අයත් නටඹුන් අතරින් තුන් ආකාරයකින් දක්වා ඇති සමහර රූප නිර්මාණය කර ඇත්තේ කන්‍යාභාවය පෙන්නුම් කරන අයුරනි. තවත් සමහරක් ගර්භණී බාවය පිළිබිඹු වන අයුරින් නිර්මාණය කර ඇත (ඒකනායක 2006:60).

පුද්ගලයෙකු බරපතල ලෙසින් රෝගාබාධයක ලක් වූ විට හෝ අත් හෝ පාදයක් බිදුණු විට, එම අබාධිත අවයවයේ හෝ රෝගාතුර පුද්ගලයාට අනුරුවක් තනා දෙවියන්ට පූජා කොට සුවය පතා භාරවීම වර්තමානයේ පවා දැකගත හැකි ය. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ රූපෙට රූපේ භාරවීම නමින් හඳුන්වයි. වර්තමානයේ ද මෙවැනි භාරවීම් සඳහා ලෝහයෙන් තනන ලද අත්පා, මිනිස් රූප, දරුවන්ගේ රූප ආදි සංකේත දේවාල කොවිල් ආශ‍්‍රිත ව දක්නට ලැබේ. මෑත කාලීන ව හොරණ කුඹුකේ දේවාලයේ හා ති‍්‍රකුණාමලය – කන්තලේ වැව්සිරිගම දේවාලයේ මිනිසුන්ට නවග‍්‍රහයින්ගෙන් වන දෝසවලට අදාළව විවිධ බලිරූප අඔනු ලැබේ. පැහැදිලි ලෙස ම ප‍්‍රාකෘතික ලක්ෂණ ප‍්‍රකට කරන බැවින් මෙම ටෙරාකොටා මූර්ති ශ‍්‍රි ලංකාවේ සම්භාවනීය බෞද්ධ කලාවට හෝ ප‍්‍රභු සංස්කෘතියට අයත් නිර්මාණ විය නොහැකි අතර සශි‍්‍රකත්වය වර්ධන කිරීම, රෝගාබාධ වලදි සුවය පතා දේවාශිර්වාද ලබා ගැනීම හෝ වෙනත් ගුප්ත බලවේග වල පිහිට සෙවීම අරමුණු කරගෙන අභිචාර විධි සඳහා භාවිත වන්නට ඇතැයි අනුමාන කළ හැක. මෙසේ මෙම කුඩාමූර්ති කඩා බිඳ දැමීමෙන් කරනු ලබන අභිචාර විධිය වර්තමානයේ පවා ගම් වල ව්‍යාවහාරව පවතින පූණාමඩුව නම් ශාන්තිකර්මයට සමාන එකක් හෝ එහිම පැරණි අවස්ථා දක්නට පූණාමඩු ශාන්ති කර්මයේ වාරිත‍්‍රයක් ලෙසින් පූණාව සහ තවත් පූජා හාණ්ඩ කඩා බිඳ දැමීමෙන් පසු කුඹුරක් හෝ ජලාශයක් ආශි‍්‍රත ව අතහැර දැමීම සිදුකරනු ලබයි. පුළුටු මැටි රූපවල කැඞීමක් හෝ කැපීමක් දක්නට ලැබේ. බලි රූප වලද දේාස ඇති තැන්වලට කටු ගැසීමක් ද කැපීමක් ද සිදුකරනු ලබයි. බලි වර්ණවත් කරනු ලබන අතර ඇතැම් පුළුටු මැටි රූපවල වර්ණය දක්නට ලැබෙන අතර පිළිස්සීමකට ලක්කොට ඇත. වර්තමානයේ බලි රූප පිළිස්සීමකට ලක්නොකරයි. අතීතයේ තම ඇදහිලි හා විශ්වාසයන්උදෙසා මැටි උපයෝගි කරගෙන ටෙරාකොට පුළුස්සා ගෙන නිර්මාණය කළ අතර කාලයේ විකාශනයත් සමඟ එම කාර්යය පහසුවෙන් ඉටුකරගැනීමට පෙළඹීම නිසා බලි නිර්මාණයන් පිළිස්සීමට ලක් නොකරනවා විය හැකි ය. නමුත් අතීතයේ එය සිදු වූවා විය හැකි අතර ටෙරාකාටා නිර්මාණයන්වල විකාශනයක් ද බලිරූප තුළින් පිළිිඹිබු වනවා විය හැකි ය. මැටි වලින් තොරව විවිධ බලි රූප කෙසෙල් අල, හබරල අල, ගෝඩල අල, ගස් ලබු ආදිය මඟින් පහසුවෙන් මෑත කාලීන ව බලි රූප නිර්මාණය කිරීමට පෙළඹී ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් හමු වී ඇති පුළුටු මැටි රූපවල රූපීය ලක්ෂණ, ඇදහිලි හා විශ්වාසයන් වර්තමානයේ බලි ශාන්ති කර්මයන් තුළ ද දක්නට ලැබෙන අතර අද වන විට බලි ශාන්තිකර්ම භාවිතයෙන් බැහැර ව ගොස් ඇති අතර සුළු වශයෙන් භාවිත කරනු ලබයි.

බලි රූප හා ටෙරාකොටාවල සමාන අසමානතා

සමානතා 

  1. බලි ශාන්තිකර්ම වල දී විවිධ විරූපී රූප, සත්ත්ව රූප, වාමන රූප, බහිරව හා යක්ෂ රූප, ස්තී‍්‍ර රූප මිනිස් රූප හා ලිංග රූපනිර්මාණය කිරීම
    පුළුටු මැටි රූපවල විවිධ විරූපී රූප, සත්ව රූප, වාමන රූප, බහිරව හා යක්ෂ රූප, ස්තී‍්‍ර රූප මිනිස් රූප හා ලිංග රූප දක්නට ලැබේ.
  2. බලි ශාන්තිකර්ම සශී‍්‍රකත්වය, ලිංගිකත්වය, දරුසම්පත්, ගව සම්පත්, ලෙඩරෝග නිවාරණය, නොපෙන බලවේගවල පිහිට ආරක්ෂාව හා නොයෙක් ඇදහිලි හා විශ්වාසයන් පදනම් කරගෙන සිදු කරනු ලබයි
    පුළුටු මැටි රූප නිර්මාණය කිරීමේ අපෙක්ෂාව වූයේ සශී‍්‍රකත්වය, ලිංගිකත්වය, දරුසම්පත්, ගව සම්පත්, ලෙඩරෝග නිවාරණය, නොපෙන බලවේගවල පිහිට ආරක්ෂාව හා නොයෙක් ඇදහිලි හා විශ්වාසයන් පදනම් කරගෙනය.
  3. බලි රූප වල ද දේාස ඇති තැන්වලට කටු ගැසීමක් ද කැපීමක් ද සිදුකරනු ලබයි
    පුරාවිද්‍යාත්මකව හමු වී ඇති පුළුටු මැටි රූපවල කැඞීමක් හෝ කැපීමක් දක්නට ලැබේ.
  4. බලි වර්ණවත් කරනු ලබයි
    ඇතැම් පුළුටු මැටි රූපවල පිළිස්සීම නිිිිසා වර්ණවත් බවක් දක්නට ලැබේ.
  5. බලි ශාන්තිකර්මයේ දී අමුද්‍රව්‍ය වශයෙන් මැටි බහුලව භාවිත කිරීම
    පුළුටු මැටි රූප නිර්මාණය කිරීමට මැටි භාවිත කොට ඇත.
  6. බලි ශාන්තිකර්මවල ගැමි කලා ලක්ෂණ දක්නට ලැබේ
    පුළුටු මැටි රූපවල ද ගැමි කලා ලක්ෂණ දැකිය හැක.
  7. බලිශාන්ති කර්ම බහුල ව වියළි කලාපවල වැව් හා කුඹුරු ආශ‍්‍රිත ගැමි ජනයා වෙසෙන ප‍්‍රදේශවල පවත්වනු ලබයි
    පුළුටු මැටි රූප වියළි කලාපවල වැව් හා කුඹුරු ආශ‍්‍රිත ගැමි ජනයා වෙසෙන ප‍්‍රදේශවලින් බහුලව හමු වී ඇත.

අසමානතා

  1. බලි විශාල ප‍්‍රමාණයට නිර්මාණය කරනු ලැබේ
    පුළුටු මැටි රූප සමාන්‍ය ප‍්‍රමාණයෙන් හමු වේ.
  2. බලි පිළිස්සීමට ලක්නොකරයි.
    පුළුටු මැටි රූප පුළුස්සා අැත.

ආශි‍්‍රත ග‍්‍රන්ථ

  • ඒකනායක, ඊ. (2006), හරප්පා ශිෂ්ටාචාරය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ.
  • කාරියවසම්, ටී. (1986), අභාවයට යන ශ‍්‍රී ලාංකික අපේ ජනකලා, සංස්කරණය, පැරකුම් විජේසිංහ, තිස්ස කාරියවසම් ආදීහු, පළාත් පාලන දෙපාර්තමේන්තුව, ෙකාළඹ.
  • කෝට්ටගොඩ, ජේ. (1995), සබරගමු කිරිමඩු ශාන්තිකර්ම,  දළුවත්ත පි‍්‍රන්ටස්, කොළඹ.
  • ගුණවර්ධන, පී. (1994), පුළුටු මැටි රූප, කලා සඟරාව, 46 කලාපය, සංස්කරණය, තෙරිපැහැ සෝමානන්ද හිමි හා තවත් අය, ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය, ෙකාළඹ.
  • ගොඩකුඹුර, සී. (1980), මැටි රූප, පුරාවිද්‍යා දෙපාර්තමේන්තූව, ෙකාළඹ.
  • ප‍්‍රගිත්, ඒ. (2004), ලක්දිව ඉපැරණි ටෙරාකොටා මූර්ති. උරුමය, දිවයිනබදාදා අතිරේකය
  • දිසානායක, එම්. (2004). ලලිත කලා සාර සංග‍්‍රහය 3, විශ්වවිදයාලීය ලලිත කලා අධ්‍යාපනඥයන්ගේ සංගමයේ ප‍්‍රකාශනය.
  • දැරණියගල, පී. ඊ.පී . (1994). ශී‍්‍ර ලංකාවේ මරදන්මඩුව – තබ්බෝව සංස්කෘතිය, ස්පෝලියා සෙලනිකා, සංස්කරණය, සිරිනිමල් ලක්දුසිංහ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • රත්නායක, ඞී.(2007), කන්‍යා යාගය, තරංග ප‍්‍රකාශකයෝ, මුදුන්ගොඩ.
  • රාජපක්ෂ, එස්. (2000), කඨිනා බලිය හා එහි විශේෂතා පිළිබඳ විග‍්‍රහයක්, සමජ්ජ් සංහිතා, සිව්වන කලාපය.
  • රාජපක්ෂ, එස්. (2000), සබරගමු කුමාර සමයම, එස්. ගොඩගේ ප‍්‍රකාශන, කොළඹ.
  • සබරගමු වංශ කථාව (2003), සංස්කරණය එල්ලාවල මේධානන්ද හිමි, සබරගමුුව පළාත් සභාව.

අන්තර්ජාල මූලාශ්‍ර

  • www.divaina.com/2014/08/10/naka09.html
  • www.divaina.com/2010/10/03/siya09.html
  • www.divaina.com/2010/01/06/feature04.html
  • https://muthuhara.wordpress.com/
  • si.wikipedia.org/wiki/.

සම්මුඛ සාකච්ඡා

  • බි. සිලවති (වයස 53), 2015.01.15, කුඹුක්ගොල්ලැව.
  • කේ.ඒ.බි. ඔදිරිස් (වයස 65), 2015.1.5, වැවුසිරිගම.
  • ලූවිනා උඩවක (වයස 59), 2015.1.5, වැවුසිරිගම.

සිංහල ලිඛිත නීතියේ ආරම්භය හෙවත් නීති නිඝන්ඩුව

ධනුෂ්ක සිල්වා

. . . දේශීය වශයෙන් මෙරට පැවති සම්ප්‍රදායික චාරිත්‍රානුකූල නීතිය, ඉන්දු ආර්යයන් මෙහි ගෙන ආ ඉන්දු-ආර්යය චාරිත්‍රානුබද්ධ නීතිය හා මහින්දාගමනයේ දායාදයක්‌ ලෙස මෙරටට ලැබුණු ත්‍රිපිටක ධර්ම නීතිය අප රටෙහි නීති ඉතිහාසයේ වර්ධනයේ ප්‍රාථමික අවස්‌ථාවන් වේ. (විජයතුංග 2013) අවාසනාවකට මෙන් මෙරට වර්ධනය වෙමින් පැවති යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත තොරතුරු විධිමත්ව වාර්තා කර තැබීමේ සම්ප්‍රදායකට සිංහලයන් හුරුව නොසිටීමත්, නීතිය යනුවෙන් හඳුන්වන විෂය එකලාව වර්ධනය වීමට අවශ්‍ය ප්‍රමාණයේ නීති රචනා නොතිබීමත්, ඒවා ලිවීමට ලේඛකයන් විශේෂ අවධානයක්‌ නොදීම ආදී කාරණා හේතුවෙන් අපට උරුම වන්නට තිබූ අගනා නීති සාහිත්‍යයක ලිත අයිතිය අපගෙන් දුරස්‌ථ වී තිබිණි.

එකී ඉතිහාසයේ අයිතිය අපට හිමිවන්නේ අනුරාධපුරයේ සිට යුග ගණනාවක්‌ පසුකර බ්‍රිතාන්‍යයන් විසින් උඩරට රාජධානිය යටත් කර ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශ යාකරමින් ඒකීය පාලනයකට අවශ්‍ය ආයතනික රටාව පෙළගස්‌වමින් සිටින වකවානුවක නීති නිඝන්ඩුව නමැති නීති සංග්‍රහය සම්පාදනය කිරීමත් සමඟිනි. නීති සංග්‍රහයක්‌ වශයෙන් සංගෘහිත වී දේශීයව වැඩෙමින් පැවති චාරිත්‍රානුකූල නීතියේ බොහෝ මූලධර්ම විස්‌තරාත්මකව විග්‍රහ කරන නීති නිඝන්ඩුව මෙරට නීතිය ලිත සාහිත්‍යයක්‌ වශයෙන් වර්ධනය වන්නට රුකුල් දුන් ආදර්ශ කෘතිය සේ සැලකිය හැකිය. . . .

ඡායාරුපය – http://www.lawessaywriting.co.uk/wp-content/uploads/2013/08/photodune-4397967-law-dictionary-series-l2.jpg

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා – 2016.10.05 දිවයින බදාදා අතිෙර්කය

සේද මාවතේ දී හමු වූ සීගිරිය : සීගිරි පර්යේෂණ ඇසුරෙන් හෙළිවන චීන – ශ්‍රී ලංකා අතීත සබඳතා

කුසුම්සිරි කොඩිතුවක්‌කු හා කල්පනී සුබෝධා බණ්‌ඩාර

මධ්‍යම සංස්‌කෘතික අරමුදල

ශ්‍රී ලංකාවත් චීනයත් අතර පවතිනුයේ අනුරාධපුර යුගයේ මුල් කාලයට තරම් අතීතයට දිවයන ශක්‌තිමත් සංස්‌කෘතික සබඳතාවකි. ඒ පිළිබඳ සනාථ කරගත හැකි සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ්‍රගත තොරතුරු බොහොමයකි. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ රචිත සිහලවත්ථුපකරණයෙහි සිට 17 වන සියවසේ රචිත වන්නිරාජාවලිය දක්‌වා සාහිත්‍ය කෘති කිහිපයකින් ම චීනය සමග පැවති සබඳතා අනාවරණය කර ගත හැකි ය. එසේම ක්‍රිස්තු වර්ෂ 5-7 සියවස්‌ කාල අතර ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් (Fa Hsian) හා හියුංසෑං (Hsuan Tsan) යන භික්‍ෂූන්ගේ වාර්තාවලින්ද ඒ බව තවදුරටත් තහවුරු කර ගත හැකි ය. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම චීන කාසි, සෙරමික්‌ බඳුන් හමුවී ඇති අතර ගාල්ලෙන් චීන භාෂාව ද ඇතුළු ෙත්‍රෙයිභාෂික ශිලා ලේඛනයක්‌ ද හමු වී තිබේ. චීනයෙහි හෑන් රාජවංශයට අයත් (Han Dainasty) සොහොන්වලින් ද ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද ඇත්දළ, මුතු, අර්ධ මැණික්‌ සහ පබළු මාල හමුවී තිබීමත් ටෑන් රාජවංශ  සමයට අයත් ඓතිහාසික වාර්තාවල සඳහන් තොරතුරුත් ඒ පිළිබඳ වැදගත් සාධක වේ. මහානාම රජු (ක්‍රි.ව. 410-430) චීනයේ, ලියු-සුං  අධිරාජයාටත් සිලාකාල රජු (522-535) ලියැන්ග්  අධිරාජ්‍යයාටත් යවන ලද ලිපි පිළිබඳව ද මූලාශ්‍රගත තොරතුරු පවතී.

දකුණු ආසියාවේ වඩාත් හොඳින් ශේෂව ඇති රාජකීය නගර සංකීර්ණවලින් එකක්‌ වන සීගිරිය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට අයත් වාස්‌තුවිද්‍යාව, නගර නිර්මාණය, ජල තාක්‍ෂණය හා උද්‍යාන සැලසුම්කරණය, කලාව ආදී ක්‍ෂේත්‍ර රැසකම විශිෂ්ට ලක්‍ෂණ පෙන්නුම් කරන ලෝක උරුමස්‌ථානයකි. ක්‍රිස්තු වර්ෂ 477-495 අතර රජ කළ 1 වන කාශ්‍යප රජ සමයට මෙම විශිෂ්ට නිර්මාණ අයත්වන අතර ඊට පෙර හා පසු කාලයට අයත් දිගු ඓතිහාසික පසුබිමකට අදාළ සාධක රැසක්‌ සීගිරියෙහි දැකගත හැකි ය. සීගිරියේ හා තදාශ්‍රිත ව සිදුකරන ලද කැනීම්වලින් විදේශීය සබඳතා තහවුරු කෙරෙන පුරාවිද්‍යාත්මක සාධක රැසක්‌ හමු වී ඇති අතර ඊට චීන සම්භවයක්‌ සහිත කෘතීන් කිහිපයක්‌ ද ඇතුළත්වේ. ඒ හැරුණුවිට චීන නිර්මාණ හා සමානත්වයක්‌ පෙන්වන කෘතීන් කිහිපයක්‌ම සීගිරි පුරාවිද්‍යා පරිශ්‍රය තුළ දැකගත හැකි වේ. . . .

ඡායාරුපය – http://www.cinnamonair.com/destinations/sigiriya.html

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා – 2016.10.05 දිවයින බදාදා අතිෙර්කය

දියයට පුරාවිද්‍යා උරුමයන් සුරැකීම

පී.ආර්. අසංක බුද්ධික සිරි

මධ්‍යම සංස්‌කෘතික අරමුදල, සීගිරිය ව්‍යාපෘතිය.

දියයට පුරාවිද්‍යාව යනු, මහජනයා අතර වඩා ප්‍රචලිත ව ඇති ගිලුණු නෞකාව ආශ්‍රිත කටයුතු පමණක්‌ ම නොවේ. පැරණි මානව ජන සමාජයේ පැවැත්ම හා වර්ධනය සඳහා ගෙන ගිය ක්‍රියාවලියේ දී ජලය සමඟ සහජීවනයෙන් ක්‍රියා කළ සියලු ම සාධක දියයට පුරාවිද්‍යාව යටතේ අධ්‍යයනය කළ හැකි ය. එය විටෙක දේශාටනය හෝ වෙළෙඳාම සඳහා යාත්‍රා කළ නෞකාවන් විය හැකි ය. විටක මසුන් මැරීම සඳහා භාවිත කළ කුඩා ධීවර යාත්‍රාවක්‌ විය හැකි ය. එ මෙන්ම ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ, වර්තමාන ජලයෙන් යට වූ ජනාවාසයන් හෝ වෙරළාශ්‍රිත කුඩා ධීවර ගම්මානයක්‌ හෝ වරායන් විය හැකිය. මේ ද්‍රව්‍යමය අවශේෂ පමණක්‌ නොව පැරණි යාත්‍රා ගොඩනැගීමේ තාක්‍ෂණය ද ජලය ආශ්‍රිතව ජීවත් වූ හා ජීවත් වන ජන කොට්‌ඨාසයන් හි සංස්‌කෘතික අවශ්‍යතාවන් හා දැනුම ද දියයට පුරාවිද්‍යා පර්යේෂණ අංශයන් වේ. . . .

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා – 2016.10.05 දිවයින බදාදා අතිෙර්කය