Home Blog Page 25

ලංකාවේ වාරි තාක්‍ෂණය හා එහි තිරසාරත්වය උදෙසා බල පෑ සමාජ හා තාක්‍ෂණික සාධක පිළිබඳ විමසුමක්

චන්දිම බණ්ඩාර අඹන්වල

සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

පැරණි රජවරුන්ගේ සිත් සතන්හි ජනිත වී, කවුරුන් ද කියා නොදන්නා, සුවහසක් පැරණි හෙළ ඉංජිනේරුවන්ගේ බුද්ධි මහිමයෙන් ලක්බිමට දායාද වූ පැරණි වැව් නිරන්තරයෙන් ම නූතන මිනිසාගේ ප‍්‍රයෝජනය සදහා මහ වන තුළින් හමු වී පිළිසකර කෙරේ. එය එසේ සිදු විය යුතු ය. නූතන දියුණු තාක්‍ෂණය ඉදිරියේ ද පැරණි වාපී කර්මාන්තයේ උත්තරීතර බවත් ඒවා කළ ඉංජිනේරුවන්ගේ බුද්ධි මහිමයත් නො සැලී තිබේ. ඒ ක‍්‍රම සහ විධි යල් පැන ගිය ඒවා බවට පත් නොවේ. ඒ වැව් අමුණු යළි පිළිසකර කරමින් වර්තමානිකයෝ ඉපැරණි විස්කම් දස්කම් දැක් වූ බුද්ධිමතුන්ට සිය උපහාරය පුදති. ලංකාවේ ශ‍්‍රී විභූතියට උත්තමාචාර දැක්වීමට ඇත්තේ මීට වඩා කුමණ මඟක් ද?

(බ්‍රෝහියර් 1999:156)

පිවිසුම
ජලය මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව මිහිපිට වසන සෑම ජීවි කොටසක් සමඟ ම අත්‍යයන්තයෙන් සබැඳි සම්පතකි. ආහාර, ඇදුම්පැළැදුම් පසෙක තිබිය දී ජලයෙන් තොර ජීවියෙකු පිළිබද ව සිතා ගැනීමටත් අපහසු ය. ජලයේ පවත්නා සාපේක්‍ෂ වටිනාකම කෙතෙක් ද යත් මිනිස් ශරිරයේ සෛලයන්ගෙන් සියයට 90ක් පමණ සමන්විත වන්නේ ජලයෙනි. වසර දහස් ගණනක අතීතයකට දිවයන ලාංකේය ශිෂ්ටාචාරයේ පදනම ජලය වශයෙන් හැදින් වුව ද එය වැරැදි නොවේ. අහසින් වැටෙන මෙන් ම ඇලදොළ ගංගා ලෙස ගලා යන ජලය මනාව පාලනය කරමින් එය සකල සත්ත්ව වර්ගයාගේ ම යහපත උදෙසා භාවිත කිරීමේ ශිල්ප ක‍්‍රමය ලාංකිකයා අද්විතිය තැනැකට ඔසවා තැබීමට සමත් විය. එබැවින් යුප‍්‍රටීස්-ටයිග‍්‍රීස්, නයිල් ආදී ශිෂ්ටාචාර සමග සසදන විට ස්වභාව ධර්මයට යටත් නොවී ස්වාධීන ව, එහෙත් ස්වභාව ධර්මය සමග සහයෝගිතාත්මක ස්වරූපයෙන් තම ජාතික ජීවනය සකසා ගැනීමට ස්වදේශිකයනට හැකි විය. එබැවින්, මානව සංගතියේ සාමාජිකයන් වශයෙන් ස්වදේශිකයන් ලබා ගත් විශිෂ්ටතර ඵලාගමයක් වූ වාරි තාක්‍ෂණය හා ඒ හා බැදි අංග කීපයක් පිළිබද ව මූලික අවධානයක් යොමු කිරීමට මෙම ලිපියෙන් උත්සහ කෙරේ. තත් තාක්‍ෂණය අරඹයා පළමු අවධානය යොමු කිරීමට මෙම ලිපියෙන් උත්සහ කරන අතර අනතුරු ව ඒ හා සබැඳි, එහි චිරජීවනය ස්ථාවර කළ තාක්‍ෂණික අංග කෙරෙහිත් අවධානය යොමු වෙයි. විය යුතු පරිදි ම තත් විෂය පරාසය කෙරෙහි අප සිත් නවතම දෘෂ්ටියකින් යුක්ත ව යොමු කළ පේරාදෙණි සරසවියේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චන්ද්‍රා ජයසේන මහතාට නොවක් තුති පිරිණැමේ.

Rajatarangini-Kalhana-Kashmire-Cronicle
කල්හාන විසින් රචිත රාජතරංගණි (මෙම ඡායාරූපය http://www.indianetzone.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

ශ‍්‍රී ලංකාවේ වාරි සංස්කෘතිය
සම්ප‍්‍රදායික වංසකතාවලට අනුව, ලංකාවේ ජනාවාසකරණය ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී පමණ සිදු වූවකි (මහාවංශය 7 පරි. 43-45 ගාථා). වංග දේශයේ සිට නාවික මාර්ගයෙන් දිවයිනට ආගමනය වූ විජය හා පිරිසත් ඔවුන්ගේ සංස්කෘතියත් ආශ‍්‍රයෙන් ලංකාවේ තාක්‍ෂණය සංස්කෘතිය ආදියත් හැඩ ගැසුණූ බව එම මූලාශ‍්‍ර තව දුරටත් පෙන්වා දෙයි. එහෙත් වාරී තාක්‍ෂණය පිළිබද ව විමසා බැලීමේ දී භාරතයෙන් එම තාක්‍ෂණය හෝ ශීල්ප ක‍්‍රමය දිවයිනට ආගමනය වූවා ද? යන කරුණ ප‍්‍රශ්න කිරීමට ප‍්‍රබල වශයෙන් හේතුවන කරුණක් නම් සම කාලීන හෝ පසු කාලීන භාරතයේ ලංකාව අභිබවා යන හෝ ඊට සමාන හෝ වාරි සංස්කෘතියක් හදුනා ගැනීමට නොහැකි වීමයි. වාරී නිර්මාණ කටයුතු සම්බන්ධයෙන් දිවයිනට කලාපීය වශයෙන් ද විශේෂ ප‍්‍රාගූණ්‍යතාවක් තිබූ බව කාශ්මීරයේ කාර්කොත පෙළපතේ බප්පිය රජුගේ බාල ම පුත් ජයාපිඩ රජු විසින් තම වාරි කර්මාන්ත සඳහා ලංකා රජු වෙතින් රාක්‍ෂෂයන් පස් දෙනෙකු ගෙන්වා ගත් බවට ලිඛිත සාධක හමුවීමෙන් විෂධ කරයි (Kalhana’s Rajatarangini 1961:167). නූතන පුරාවිද්‍යාත්මක අධ්‍යයන මඟින් පැහැදිළි වන්නේ නිශ්චිත ව ම විජයාගමනයට පූර්වයෙන් දිවියින් වාසීන් වූ ප්‍රොටෝ ජන සමාජ වැසියන් ගම්වැව් පදනම් කර ගනිමින් තම වාසස්ථාන ඇති කොට ගෙන සිටි බවයි. ඒ අනුව කාබන් 14 ආදී කාලනීර්ණ ක‍්‍රම අනුව ක‍්‍රි.පූ. 7/8 සියවස්වලට කාලනීර්ණය වී පවත්නා ඉබ්බන්කටුව පුරාවිද්‍යා ස්ථානය ආසන්නයේ ඉබ්බන්කටුව වැව ද යාපහුව පිංවැව ගල්සොහොන්කනත්ත ආසන්නයේ පිංවැව ද ස්ථාන ගත වීම මෙම තත්ත්වය පැහැදිළි කරයි (Seneviratna 1984). මෙම තත්ත්වයන්ගෙන් ඔබ්බට ප‍්‍රාග් ඓතිහාසික මෙසෝලිතික මානවයා පිළිබද ව අවධානය යොමු කිරීමේ දීත් එම මානවයා ද ජලය මුල් කොටගෙන තම දිවිපැවැත්ම හැඩ ගස්වා ගත් බව පැහැදිළි වේ. මෙම තත්ත්වය විශේෂයෙන් සබරගමුව, රත්නපුර, පැල්මඩුල්ල ආදි ස්ථාන වල සිදුකළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් ද සනාථ වේ.

පූර්ව බ‍්‍රාහ්මි සමාජයේ වැව
ක‍්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ක‍්‍රිස්තු වර්ෂ 1 සියවස අතර කාලයට පමණ අයත් පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපි මඟින් ද වැව් පිළිබදව නියත සාධක ඉදිරිපත් වීම වැදැගත් සිද්ධියකි. මෙම යුගය වන විට ලක්දිව වැව් හා වාරි කර්ම ආරම්භ ව තිබුණු බව එම පැරණිත ම සෙල් ලිපි මඟින් පැහැදිළි වන අතර ම ඒ පිළිබඳ ව අදහස් දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන, අප කතා කරන සෙල්ලිපි අයත් යුගය වන විටත් (එනම් ක‍්‍රි. පූ. තෙවන සියවස හා ක‍්‍රි. ව. පළමු වන සියවස අතර කාලය) ලංකාවේ මිනිසුන් පසු කාලින ව උසස් තත්ත්වයකට ලඟා වූ වාරි කර්මාන්ත නිර්මාණය ආරම්භ කොට තිබූ බව පෙන්වා දෙයි (1970:c). වැව් නිර්මාණය පිළිබඳ ව සලකා බලන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මණ්ඩාගල ස්ථානයෙන් හමු වන ලිපියක දාරක තිස්සා විසින් පුදකළ ලෙණක් හා මරගම නමැති වැවක් පිළිබඳ ව [576 – අංකනය, සෙනරත් පරණවිතාන මහතාගේ Inscriptions of Ceylon Vil. I ග‍්‍රන්ථයේ යෙදෙන අනුපිළිවෙලිනි.] තොරතුරු ලැබේ (Paranavitana 1970:44). එමෙන් ම, වැව් පරිත්‍යාග පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පුත්තලම දිස්ත‍්‍රික්කයේ තෝණිගල පර්වත ලිපි දෙකෙහි [1051, 1052] සංඝයා වෙත පිරිණැමූ පරුමක තිසට අයත් වැවක් පිළිබඳ විස්තර අන්තර් ගත වේ (Ibid:44).

වැව් හා අත්‍යන්තයෙන් ම සම්බන්ධ ඇළවල් පිළිබඳ සාධක ද තත් ලිපි මඟින් ඉදිරිපත් වේ. සංස්කෘතයේ ආලි ලෙසින් ද පෙළ බසෙහි ආළි වශයෙන් ද හෙළයේ ඇළ ලෙසින් ද යෙදෙන වත්මන් ඇළ යන්න සම කාලීන ව අඩි යන යෙදුමින් හඳුන්වා ඇති බව (Ibid: 101) පරණවිතානගේ සෙල්ලිපි අරුත් ගැන්විම් අනුව පෙනී යන අතර ත‍්‍රිකුණාමලේ දිස්ත‍්‍රික්කයේ නාච්චියාර්මෙලෙ ලිපියේ [379] අඹගමහි පිහිටි නකදක නම් ඇළක් හා මාතලේ දිස්ත‍්‍රික්කයේ අලූවිහාරයේ ලිපියක ඇළක් පිළිබඳ ව ද තොරතුරු අන්තර් ගත වේ. එමෙන් ම මාතලේ දිස්ත‍්‍රික්කයේ දඹුල්ල ස්ථානයේ හමු වන ලිපියක [846] යෙදෙන අනණික යන යෙදුම පරණවිතාන ජල සම්පාදනය පිළිබඳ ප‍්‍රවීනයෙක් (Ibid: 102) වශයෙන් හඳුනා ගන්නා අතර ඒ අනුව එම ලිපියෙන් වාරිමාර්ග නිළධාරි තිස්ස නම් පුද්ගලයා හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ඒ හා සමානව ම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාම්පිට විහාර ලිපියක [791] යෙදෙන අඩිකය යන්න පරණවිතාන ඇළමාර්ග භාරකරු හෙවත් රැකවලෙකු(Ibid: 101) වශයෙන් හඳුනා ගන්නා අතර ඒ අනුව එම ලිපියෙන් ඇළ මාර්ග භාරකාර උතර පිළිබඳ දත්ත ඉදිරිපත් වේ.

අපර බ‍්‍රාහ්මී යුගයට අයත් ලිපි පිළිබඳ ව අවධානය යොමු කිරිමේ දී වැව් පරිත්‍යාග පිළිබඳ සාධක සාපේක්‍ෂක ව බහුල බව පෙනී යන අතර ම ඒවා වැඩි ප‍්‍රමාණයක් වත්මන් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ස්ථාන ගත වන බවත් හඳුනා ගත හැකි ය. එම කාලයට අයත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඉරියාව [1225] ලිපියේ පරුමක හදන විසින් දිපිගල්ල විහාරයට පුද කළ වැවක් පිළිබඳ ව කරුණු ඉදිරිපත් වේ (Ibid: 99). එම දිස්ත‍්‍රික්කයේ ම, ගල්ගමුවෙන් හමුවන ලිපියක [1216] රජ අබය විසින් සිදු කළ වැව් පරිත්‍යාගයක් පිළිබඳ ව ද, කොතළකිඹියාවෙන් හමු වන ලිපියක [1197] දකබරි ගමෙහි වැවෙන් උපාසක දතට අයත් කොටස් පරිත්‍යාගයක් පිළිබඳ ව ද, හලඹගල ලිිපියක [1228] උතර නම් වැවක් හා තිස තෙරගේ ජල පිටවානක් පිළිබඳ සාධක ද ගනේකන්ද විහාරයේ [1199] කම්කරුවන් සඳහා නව ලක්‍ෂයක් දීමෙන් සකස් කළ අමුණක් පිළිබඳ ව ද ගල්ලෙන විහාර ලිපියක [1215] අබ නම් ඇළෙහි වේල්ල සමීපයෙහි ඉඩම් කොටසක් පිළිබඳ ව ද තොරතුරු ඉදිරිපත් වෙයි.

Senarath Paranavitana-Handagala Vihara-Early Brahmic Inscription-Sri Lanka-Epigraphy
කුරුණෑගල, ගනේකන්ද විහාරයේ පූර්ව බ්‍රාහ්මි සෙල්ලිපිය (උපුටා ගැනීම : S. Paranavitana, (1970), Inscriptions of Ceylon, Vol. I, Department of Archaeology, Ceylon.)

බ‍්‍රාහ්මි සෙල්ලිපිවල යෙදෙන වපිහමික යන වදනින් වැව් හිමිකරුවන් පිළිබඳ ව ඉදිරිපත් වන බව (Ibid: 121) අදහස් කරන අතර ඒ අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හදගල හමුවන ලිපිද්වයක අනුලපි නම් වැවේ හිමිකාර පරුමක මහ වබලිය [1130] හා නකදපික වැවේ හිමිකාර පරුමක දිගදත පිළිබඳවත් අවුකන ලිපියක [1151] කඩපි වැවේ හිමිකාර පරුමක උවහජනක හා කුරුගොන්කන්ද ලිපියේ [1200] ගොකනගමක වැවේ හිමිකාර පරුමක තිස පිළිබඳවත් හදගල අපර බ‍්‍රාග්මී ලිපියක [1129] නක නගරයේ වැවේ හිමිකාර උපසක දත පිළිබඳවත් කුරුණැගල දිස්ත‍්‍රික්කයේ තෝරවමයිලෑව ලිපිද්වයක [1217, 1218] පුනපිටික වැවේ භාරකාර උපසක විනු පිළිබඳවත් අනුරාධපුර ගල්ගේ ලිපියක [1122] කඩහලක වැවේ හිමිකරු පිළිබඳවත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සැස්සේරුව ස්ථානයේ ලිපියක [1210] යවවවික වැවේ හිමිකාර චූල හුමන පිළිබඳවත් නැවැත වරක් අනුරාධපුර දිසුත‍්‍රික්කයේ අවුකන ලිපියක [1150] දිනහ වැව පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් වෙයි. මෙම කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන විට පුර්ව බ‍්‍රාහ්මී යුගයේ වැව හා ඒ හා සම්බන්ධ අවශේෂ සියල්ල වැදැගත් සමාජ ප‍්‍රපංච වශයෙන් ක‍්‍රියාත්මක ව පැවැති බවට නො බිදිය හැකි සාධක ඉදිරිපත් වෙයි.

සාහිත්‍යාගත සාධක
මහාවංසය පිළිබඳ ව අවධානය යොමු කරන විට එහි ආදීතම යුගය පිළිබඳ සිදු කරන විස්තරයන්හී දි විවිධ ස්ථානවල එවක වැව් පැවැති බව හෙළි වෙයි. විජයාගමනය හා සම්බන්ධ කතා පුවත දක්වීමේදි ‘ඒ අනුරාධ තොමෝ දකුණු දිගින් වැවක් කරවීය. (මහාවංශය 9 පරි. 11 ගාථාව)’ යනුවෙන් දක්වන අතර ඒ අනුව ලක්දිව ප‍්‍රථම වැව අනුරාධ සෙනෙවියා විසින් කරවූවකි. පණ්ඩුකාභය කථාව දක්වන අවස්ථාව අතරතුර ගිරිකණ්ඩ සිව නම් බිරින්ද පියහුද නො මරවා ගල්කඬ රටම ඔහුට දුන්නේ් ය. ඒ විල ද කණවා බොහෝ දිය ඇති කළේ ය. ජය ලත් කළ දිය නෑ හෙයින් ජය වැව නම් වී. නුවරට නැ‍ෙඟෙනහිර කාළ වේල යක්‍ෂයා පිහිට වී හෝ කාළ වේල යකු දෙවොල ඉදි කළේ ය. ඒ චිත‍්‍රරාජ යකු අභයවාපි යට භාගයෙහි වාසය කර වී(එම 10පරි. 84 ගාථාව)’ යනුවෙන් වැව් හා ඒවායේ සංඥා නාම සහිත ව කරුණු ඉදිරිපත් කර ඇත් බව පෙනී යයි. එලෙස ම රෙහෙර අමුණ සමීපයෙහි කොළඹාලක විහාරය ද (එම 21පරි. 5,6 ගාථා) යනුවෙන් හා දේවානම්පියතිස්ස කතා ඉදිරිපත් කරන අවස්ථාවේ දී වලස් වැව කරවන එම යුව රජ හට විෂයෙන් යෙදූ අඹයක් අඹ මතුයෙහි තබා යැව්වාය(එම 22 පරි.4 ගාථාව) ආදී වශයෙන් විවිධ තොරතුරු ඉදිරිපත් වෙයි. එෆ්. ආර්. ඕල්චින්ට අනුව දකුණු ආසියානු කලාපයේ උජ්ජෙයිනි පුරයට දකුණීන් පිහිටි විශාලතම පෞරාණික නගරය වන අනුරාධපුරයේ වර්ධනය පිළිබද ව අදහස් දක්වන ආචාර්ය, රෝලන්ඞ් සිල්වා දක්වන්නේ අනුරාධපුර නගරය ආරම්භයේ අභයවාපී, ගාමණීවාපී, තිස්සවාපී, නුවර වැව හා පුලියන්කුලම යන මූලික ගම් වැව් 5කින් සමන්විත වූ බවයි (2000:49). ක‍්‍රිස්තු වර්ෂ 2 සියවස පමණ වන විට රජ රටෙහි වැව් වර්ග 3ක් වූ බව හඳුනා ගත හැකි ය. ගමික වැව (ගම් වැව්), දන වැව (විශාල වැවකින් ජලය ලබා ගෙන අවශ්‍යතා අනුව බෙදා හරින වැව් හෙවත් පෝෂක වැව්), මහවැව් (විශාල වැව්) වශයෙනි(සෙනෙවිරත්න 2001:103). ‘මධ්‍යම ඉතිහාස අවධිය පමණ වන විට වැව හා ගම සමඟ ජනතාව බෙදා වෙන්කළ නොහැකි මට්ටමට ශිෂ්ටාචාර ගත වී පැවැතිණ. පිහිටීම අතින් ගත් කළ වියළි කලාපීය ගම්මාන බොහෝ විට වැවක් කේන්ද්‍ර කරගත්, වගා ප‍්‍රදේශය පරිශ‍්‍රය කරගත්, හේන්, කුඹුරු, ගම්මැද්ද සහ කැළෑව හා සම්බන්ධ වූ ගම් ඒකක වේ. බොහෝ විට මේ ගම් හැඳින්වීම සඳහා වැවේ නම යොදා ගැණුනි. මෙම ගම්මානවල කෘෂිකාර්මික වගා කටයුතු මූලික වශයෙන් වාරි ජලය හා සම්බන්ධිත වැව් පද්ධතියට අනුව සකස් වූ හෙයින් වැවේ නමින් ම හැඳින්වීම සාධාරණය. සියඹලාවැව, දිඹුල්වැව, හැළඹවැව, දොඹවැව ඇහැටුවැව ආදී නම්වලින් නිතැතින්ම එම ගම ප‍්‍රකට විය (හේරත් 1998:199).’

ශ‍්‍රී ලංකාවේ වාරි සංස්කෘතිය සදහා බලපෑ සාධක
ආර්යයෝ තම ජානපදික ලක්‍ෂණ පිළිබිඹු කරමින් ලංකාවේ ගංගාවන්ගේ අතු ගංගා ආශ‍්‍රිත ව තම ජනාවාස සකස් කරගත් බව මල්වතුඔය, දැදුරු ඔය ආදියේ අතු ගංගා ආශ‍්‍රිත ව කෙරී ඇති පුරාවිද්‍යාත්මක පරීක්‍ෂණ වලින් හෙළි වෙයි. වැඩි වන ජනගහනයත් ඔවුන් පෝෂණය කිරීම හා එම ජනතාවගේ අවශ්‍යතා සැපිරීමත් උදෙසා වඩා වැඩි ආකර්ශණීය කලාපයන්ගෙන් ඔබ්බට තම ජනාවාස හා ගොවිබිම් ව්‍යාප්ත කිරීමට සිදු විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශුෂ්ක හා අභ්‍යත්තරික කලාප වෙත ජන සංක‍්‍රමණ කැපී පෙනේ. මුල් කාලීන ව වසරකට එක් කාලසීමාවක දී පමණක් ඇදහැලෙන වර්ෂාව මඟින් තම කෘෂිකාර්මික අවශ්‍යතා සපුරා ගැනීමට සිදු විය. වසරේ එක් කළෙක අධි ගනත්වයකින් ඇදහැලෙන වැසි වතුර, වතුර හිඟ කාලයන් සදහා රැස් කර තබා ගැනීම සදහා උපක‍්‍රම අවශ්‍ය විය. එම අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා වාරික‍්‍රමයක අවශ්‍යතාව ඉස්මතු වූ අතර එහි ක‍්‍රමික වර්ධනය වාරී සංස්කෘතියක් ජනිත වීමට හේතුකාරක විය. බෞද්ධාගමේ හරයනට අනුව කෘෂිකර්මය ධාර්මික, සමාජ අනුගත ජීවනෝපාය වශයෙන් හඳුනා ගැනීම ජනප‍්‍රිය වීමත් සමඟ ම වාරී ක‍්‍රමයකට අවශ්‍ය සමාජ පසුතලය ද නිතැතින් ම සකස් වන්නට ඇත.

වාරි තාක්‍ෂණය හා එහි තිරසාරත්වය උදෙසා බලපාන ලද තාක්‍ෂණික සාධක
යම් කාර්යයන් ඉටු කර ගැනීම හෝ පහසු කර ගැනීම සදහා මානවයා තම මනස වෙහෙසවා බාහිර ද්‍රව්‍යයක උපකාර සහිත ව යම් උපක‍්‍රමයක් යොදයි නම් එය තාක්‍ෂණය යනුවෙන් සරළ අර්ථයන් ගත හැකි ය. යමෙක් තම ශාරීරික අංගෝපාංග පමණක් උපකාරයෙන් ගසක ගෙඩියක් කැඞීමට අපහසු විටෙක ඒ සදහා තම මනස මෙහෙයවා ලි දඩුවක් භාවිත කරමින් එම ගෙඩිය කැඞීම තාක්‍ෂණය භාවිතය සදහා සරළ උදාහරණයකි. ඒ අනුව, ද්‍රව්‍යාත්මක වශයෙන් සලකා බලන විට මානවයා තම පරිණාමීය ගමන් මෙඟ් දී පාෂාණ, තඹ, යකඩ, පරමාණු, චන්ද්‍රිකා ආදී විවිධ තාක්‍ෂණික ක‍්‍රම භාවිතා කර හා කරමින් සිටී. තිරසාරාත්මක සංවර්ධනය කෝ්ණයෙන් මෙන් ම පරිසර විද්‍යාත්මක දෘෂ්ටියකින් යුක්ත ව එවැනි විවිධ තාක්‍ෂණික උපක‍්‍රම දෙස බලන විට වැව් තාක්‍ෂණය වසර 1,400ක පමණ කාලයක් ස්ථාවරත්වයකට පත් ව ඇති අතර අභියෝග සාර්ථක ව ජයග‍්‍රහණය කිරීමට ද සමත් ව ඇත. මෙලෙස වැව් තාක්‍ෂණයේ තිරසර බව උදෙසා මානවයා විසින් එයට ලබා දුන් තාක්‍ෂණික කරුණු රාශියක් ඉවහල් වී ඇත. ඒවා 1. නිර්මාණාත්මක තාක්‍ෂණික කරුණු හා 2. ඉංජිනේරු විද්‍යාත්මක කරුණු වශයෙන් වර්ග කර හදුනා ගත හැකි ය.

පළමු ව, මෙයින් නිර්මාණාත්මක තාක්‍ෂණික කරුණු කෙරෙහි අවධානය යොමු කරමු. ශ‍්‍රී ලංකාවේ බොහෝ වාපීකර්මාන්තයන්ගේ ස්ථාන ගත වීම පිළිබඳ ව අවධානය යොමු කරන විට ඒවා ඊට ම ආවේනික, උචිත භූගෝලීය ස්ථානයන්ගේ ස්ථාන ගත කර තිබීම කැපී පෙනේ. පුරාණ වාරී තාක්‍ෂණික ශීල්පීන් කවරාකාර හෝ විවිධ භූ කාරක හේතූන් මත වැව් නිර්මාණයට යෝග්‍ය සේ නිර්මාණය වූ අවපාතයන් හදුනා ගෙන සවිඤ්ඤාණික ව ඒවා ඔස්සේ තම වාරි කර්මාන්ත ඉදි කර ඇති බව පෙනී යයි. මෙම හඳුනා ගැනීම සදහා බෝහෝ විට ඒ වනවිටත් ස්වභාවික විල් හෝ පතස් වශයෙන් පැවැති ස්ථාන ම යොදා ගැනීම අදාළ වාරී කර්මාන්තයන් ස්ථාපිත වීම සදහා වැදැගත් වන්නට ඇත. වංශකතා මූලාශ‍්‍රයන් හී හා ජනප‍්‍රවාද ගත ව පවත්නා යම් යම් වැව් නිර්මාණ සදහා පාදක වූ ස්වභාවික ව නිර්මාණය වූ ජල තටාක පිළිබද කථා මෙම වංශකතාකරුවන් හෝ ජනකතාකරුවන් වටහා ගත් ආකාරය විය යුතු ය. (කලා වැව නිර්මාණය වීම සම්බන්ධ ව පවත්නා රසවත් මෙන් ම දුක්බර කථාව මෙය විෂධ කරවන කදිම අවස්ථාවකි).

අප දන්නා පරිදි ම වාරි කර්මාන්තයන් හී දී බොහෝ දුරට ජල ප‍්‍රභවයක් හෝ මාතිකාවක් කදු දෙකක් අතරින් ගලා යන නිම්ණ අවස්ථාවක දී බැම්ම සදහා පටු ම ස්ථානය තෝරා ගැනීමත් එම බැම්ම බොහෝ විට මව් පාෂාණය මත නිර්මාණය වී තිබෙන අතර ම එය ප‍්‍රමාණවත් අන්දමින් ඝණ ව කාවැද්දීමත් වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයකි. කලා වැව අධ්‍යයනය කළ විශේෂඥයින් පෙන්වා දෙන්නේ කලා වැවේ බැම්ම බිදී ගිය ස්ථානයේ බැම්ම පිහිටුවා තිබෙන්නේ එහි පිහිටි පාෂාණයේ බවත් බැම්ම එම පිහිටි පර්වතයට ප‍්‍රමාණවත් අන්දමින් කාවද්දා නොමැති වීමෙන් මෙසේ බිදී ගිය බවත් ය (බෝහියර් 1999:93). පිහිටි පාෂාණය පොළොව මතුපිටට ආසන්න නොවන අවස්ථාවක දී වැව් බැම්මට යාවෙන පාෂාණ තට්ටුවක් වශයෙන් ඇතිරීම මඟින් අදාළ වාරී කර්මාන්තයේ චිරස්ථිතිය ලඟා කිරීමට තාක්‍ෂණික ශීල්පීන් උත්සුක විය. කන්තලේ වැව පිළිබද ව සිංහලේ රජු හා ලංදේසීන් අතර ඇති වූ ගිවිසුමකින් පසු ව ජොහාන් ෆර්න්බවර් නම් ඉංජිනේරුවා විසින් ඉදිරිපත් කළ ලේඛනයේ තත් තාක්‍ෂණීක උපක‍්‍රමය පිළිබද ව කරුණුත් ඒ පිළිබද ව තම විශ්මයත් දක්වන බව සඳහන් වෙයි (එම 117). 1970 දශකයේ මුල් භාගයේ මාදුරුඔය ජලාශය ඉඳිකරන අවස්ථාවේ කැනේඩියානු ඉංජිනේරුවන් පිරිසක් තම දියුණු මිණුම් උපකරණ උපකාරයෙන් නව වාරි කර්මාන්ත සඳහා සොරෝව්, බිසෝකොටු, ඇළ මාර්ග සළකුණු කළ අතර මෙහි දී විශ්මය ජනක කරුණත් අණාවරණය විය. පුරාණ ශීල්පීන් තම තාක්‍ෂණික දැනුම හා උපකරණ භාවිතයේ බුහුටි බව විෂධ කරමින් නූතන ක‍්‍රම මඟින් නිර්ණය කළ ස්ථානයට අනුගත වන අයුරින් ම පුරාණ සොරොව්ව අනුගත කර තිබූ බවයි. ඒ අනුව පුරාණ තාක්‍ෂණික ශිල්පීන් භූමිය පිළිබඳ ව මනා අවබෝධයකින් හා උපකරණ භාවිතයේ හසලත්වයකින් යුක්ත ව තම කාර්ය සාධනය කළ බව පැහැදිළි වෙයි. වසර දහස් ගණනක් පැවැතීමට තරම් සවිශක්තිමත් වූ වැව් බැම්ම ස්ථාපිත කළේ කෙසේ ද? යන්න විමසා බැලීමේ දී තවත් වැදැගත් සරළ තාක්‍ෂණික කරුණක් අණාවරණය වේ. එනම්, වත්මන මෙන් සිමෙන්ති හෝ වෙනත් සංකීර්ණ ඇලවුම්කාරක නොමැති ව පස් පමණක් උපකාරයෙන් එම කාර්යය කරයි. මුඛ පරම්පරාගත කථාවලින් පැවැසෙන ආකාරයට එසේ බැම්මට දැමූ පස් තද වීම සදහා ඒ මතින් එළු, ගව වැනි කුඩා කුර සහිත සතුන් ඔබ මොඹ දැක් වූ බව විශ්වාස කරයි. එමඟින් බැම්මට මිනිස් ශ‍්‍රමයෙන් ඇද හැලෙන පස් වඩා ස්ථාවර ලෙසත් යෝග්‍ය සවිවරතාවක් ලැබෙන සේත් ස්ථාපිත විය. මෙම සරළ ශිල්ප ක‍්‍රමය ඇසුරින් පුරාණ ශීල්පීන් එවකට කෙතරම් පරිපූර්ණ වී සිටියේ ද? යන්න අද දවසේ ද එවැනි කාර්යයන් සදහා බැටලූ කකුල්වලට සමාන අන්දමින් සෑදු ‘බැටලූ කකුල් රෝල’ නම් උපකරණය භාවිතය පැහැදිළි කරයි.

වර්ෂා සමයන් හී දී ජලය උපරීම ආකාරයෙන් රදවා තබා ගෙන ජලය හිඟ සමයන් හි දී කෘෂිකර්මය හා අනෙකුත් අවැසිතා උදෙසා මුදාහැරීම දිවයිනේ සියලූම වැව් ක‍්‍රියාත්මක වූ මූලධර්මය විය. මෙම කාර්යයන් උදෙසා දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් රාශියක් ස්ථාන ගත කිරීම ද වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයක් විය. මහ පරිමාණ වැව් ඉදි කිරීම නඩත්තු කිරීමාදියේ දී සිදුවන අධික පිරිවැය අවම කර ගැනීමත් එමඟින් නැවත කුඩා වැව්වල නඩත්තුව පහසු කර ගැනීමත් සිදු විය. එක් ස්ථානයක විශාල වැවක් ස්ථාන ගත කරනවාට වඩා ස්ථාන කීපයක කුඩා වැව් රාශියක් ස්ථාන ගත වීම ඔස්සේ ඒ එක් එක් වැවක් ආශ‍්‍රිත විශාල ප‍්‍රදේශයක භූ ගත ජලය හෙවත් පසෙහි තෙතමනය රදවා ගැනීමට හැකි වීමත් වැදගත් උපක‍්‍රමයකි. එලෙස ම යම් හේතුවක් නිසා විශාල වැව් බැම්ම බිද වැටීමෙන් සිදු වන්නා වූ පාරිසරික හා ජීවිත හානිය අවම විමත් මෙහි අතුරු වාසි අතර වේ. එක් ජලවහන මණ්ඩලයක් පුරා ම සෑම තැන ම කුඩා කුඩා වැව් ස්ථාපිත වීමත් ඒ සියල්ල ම අවසානයේ දී යොමු වන මධ්‍ය ප‍්‍රමාණයේ වැවත් මාර්ගයෙන් වසර පුරා ම අඛණ්ඩ ජල ධාරාවක් ඉතා විශාල ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ලබා දීමට අවස්ථාව උදා වෙයි. එමෙන් ම ‘පද්ධති වැව්ක‍්‍රමය’ (Tank Cascade System-TCS) හේතුවෙන් තවත් ඉතා වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයක් පෙන්නුම් කරයි. වියළි කලාපීය භූ දර්ශනයකට අයත් ක්‍ෂුද්‍ර ජල පෝෂක කලාපයක සකස් කරන ලද, කෙටි කාලීන ජල ප‍්‍රවාහයන් භාවිත කරමින් ජලය ගබඩා කර, බෙදා හරිමින් භාවිත කරන එකිනෙකට සම්බන්ධ වැව් රාෂියක් (Madduma Bandara in Jayasena and Gangadhara 2006:4) පද්ධති වැව් ක‍්‍රමය යනුවෙන් අදහස් කරනු ලැබේ. යම් ප‍්‍රදේශයක මහා පරිමාණ ජලාශයක් නිර්මාණය වීම මඟින් අඛණ්ඩ ව ගලා එන ජලයත් සමඟ මිශ‍්‍ර ව එන්නා වූ ලවන හේතුවෙන් පසෙහි ලවනතාව අධික වීම සිදු වෙයි. මෙම කාරණය අදාල ප‍්‍රදේශයේ පස සාරවත් බවින් හීන කිරීමට හේතුවක් වශයෙන් අදවන විට හදුනා ගෙන හමාර ය. මෙවැනිම ආකාරයට පසේ ලවනතාව අධික වීම ඉන්දු නිම්ණ ශිෂ්ටාචාරය බිදවැටීමට එක් හේතුවක් වශයෙන් අද වන විට පුරාවිද්‍යාඥයන් පෙන්වා දී ඇත. එම නිසා මහා පරිමාණ වැව් සීමා කිරිමත් කුඩා ප‍්‍රමාණයේ වැව් ප‍්‍රමාණය වැඩි වීමත් මඟින් පසේ ලවනතාව සාමාන්‍ය මට්ටමෙන් අඛණ්ඩ ව පවත්වා ගත හැකි වීමත් විශේෂ කරුණකි.

Sorabora Veva-Irrigation-Sri Lanka
මහියන්ගණය අසළ සොරබොර වැව (මෙම ඡායාරූපය http://exploresrilanka.lk අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

සාමාන්‍යයෙන් කුඩා වැව් හැරුණු විට මධ්‍ය ප‍්‍රමාණයේ වැව් මහා පරිමාණ වැව් ආදී සෑම වැවක ම පාහේ දැකගත හැකි තාක්‍ෂණික ලක්‍ෂණයකි, වැවෙන් ජලය පිටතට ගෙන යාම සඳහා භාවිත කරන ගොඩ සොරොව්ව හා ඊට පහලින් පිහිටි මඩ සොරොව්ව යන සොරෝව් දෙක. සාමාන්‍යයෙන් කෘෂිකර්මය හා අනෙකුත් අවශ්‍යතා සදහා අවැසි ජලය ලබා දීම ගොඩ සොරෙව්ව මගින් සිදු වූ අතර වර්ෂාව අඩු සමයන් හී දී අදාළ ජලාශයන් හී එක් තැන් වී ඇති රොන් මඩ ඉවත් කිරීමට පහත් මට්ටමින් තිබූ මඩ සොරොව්ව උපයෝගි කර ගන්නා ලදී. වැවක් දීර්ඝ කාලයක් තිස්සේ රොන් මඩින් පිරී යාමට ඉඩ නොහැර අඩු පරිමාණයකින් යුක්ත ව නඩත්තු කිරීමෙහි ලා වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයක් වශයෙන් මෙම මඩ සොරොව්ව හදුනාගත හැකි ය. එමෙන් ම ඇළ මාර්ග දිගේ ජලය සමඟ වැවට ඇදී එන රොන් මඩ ආදිය වැවට එක්වීම පාලනය කිරීම සඳහා ද විශේෂ උපක‍්‍රමයක් භාවිත වූ අතර එය පොටා වැටිය නමින් හඳුන්වනු ලැබේ. පසින් ම නිර්මාණය කළ වෑ කණ්ඩිය කාලයත් සමඟ එහි ජලය හා රැල්ල වැදීම සමඟින් ක‍්‍රමක‍්‍රමයෙන් සේදීමට ලක් වීම එම බැම්මෙහි ශක්තිය හීන කරන්නක් මෙන් ම ජීව කාලය කෙටි කරන්නක් ද වෙයි. එහෙත් වර්ශ ගණනාවත් තිස්සේ දේශීය කෘෂිකර්මයේ චිරස්ථිතිය ලබා දීම සදහා එයට යෙදූ මනා උපක‍්‍රමයක් ලෙසින් රැළපනාව නම් උපක‍්‍රමය හඳුනාගත හැකි ය. එනම්, වැව් බැම්මේ ඇතුළු බැම්ම මනා ව සකස් කරන ලද ගල් ආස්තරයක් ඇතිරීමයි. එමඟින් ජල පහර නිරන්තරයෙන් වැව් බැම්මට වැදීම වැලැකී අදාළ කළුගල් බැම්මෙහි වැදීම මඟින් සිදු විය හැකි හානිය අවම වෙයි. මෙම වාරි කර්මාන්තයන්ගේ ජලය පිරවීමේ දී යම්කිසි මට්ටම් ප‍්‍රකාශනයක් උපයෝගි කරගන්නා ලදී. එයින් වැවේ ජල මට්ටම මැන ගනු ලැබිණ. දියකැට පහණ ලෙසින් පුරාණ තාක්‍ෂණයේ හඳුනා ගන්නා මෙය බිසෝ කොටුව තුළ ස්ථාන ගත විය. මෙම මිණුම් මඟින් නිරන්තරයෙන් වැව් බැමිමට හානි නොවන මට්ටමකට ජල ප‍්‍රමාණය පවත්වා ගෙන යාමට හැකි වේ.

Kalawewa-Irrigation-Sri Lanka
කැකිරාව ආසන්නයේ කලා වැව (මෙම ඡායාරූපය http://www.landscapes.org වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

ශ‍්‍රී ලංකාවේ වාරි කර්මාන්තය දීර්ඝ කාලයක් චිරස්ථායි වීම සදහා තාක්‍ෂණික ශිල්පීන් විසින් හදුන්වා දුන් විශිෂ්ටතම තාක්‍ෂණික උපක‍්‍රමය ලෙසින් බිසෝකොටුව යන උපක‍්‍රමය හදුනා ගත හැකි ය. මෙහි ඇති වැදගත්කම හෙන්රි පාකර් විසින් ඉදිරිපත් කරන ලද පහත ප‍්‍රකාශයෙන් මනා ව පැහැදිළි වෙයි. “ලොකයේ කිසිම රටක විද්‍යාමාන නොවන්නා වූ විශ්මිත ජල සම්පාදන ක‍්‍රමයක් නිපදවීමට පැරණි සිංහලයාට පුලූවන් වූයේ බිසෝකොටුව තනා ගැනීම නිසා ය. එකළ විශාල වැව්වල රාෂීභූත වූ ජල ඛණ්ඩය පිටවීම පාලනය කිරීමේ ක‍්‍රමයක් ඔවුන් නොදැන සිටියේ නම් පැරණි සිංහලයාට කුඩා වැව් වලට වඩා යමක් තැනීමට කිසිසේත් නුපුලූවන් වන්නේ ය. බිසෝකොටුව වනා හී එක් පැත්තකින් වැවෙන් පිවිසෙන ජලයට විවෘත වූ ද ප‍්‍රතිවිරුද්ධ පැත්තෙන් ජලය පිටතට ගලා යන්නා වූ ද කවුළු 2කින් යුක්ත වූ චතුරස‍්‍රාකාර ගැඹුරු ලිදක් හෙවත් ටැංකියක හැඩයෙන් යුක්ත වූවකි. පතුලේ සිට ගලින් හෙළුෑ පරාල එකක් මත එකක් සිටින සේ තැම්පත් කර ඉදිකරන ලද්දකි. බිසොකොටුව කට්ට ඔරොත්තු දී ගත හැකි තරම් වූ ජලය පිරුණු විට ඇති වන මතුපිට මට්ටමට සමාන වන තරම් උසට තනා තිබුනා විය හැකි ය. නූතන යුගයේ වැවෙන් ජලය පිට කිරීම හා පාලනය කිරීමට යොදා තිබෙන යාන්ත‍්‍රික උපකරණ වලින් කෙරෙන මෙහෙය පුරාණ යුගයේ ඉටු කර ගන්නා ලද්දේ බිසොකොටුව මඟිනි. සොරොව්ව ඔස්සේ පිටත පිහිටි ඇළට ජලය ගලා ගියේ බිසෝකොටුව හරහා ය (සරත් 1998:32). මහාචාර්ය, සෙනරත් පරණවිතානගේ අදහසක් උපුටා දක්වන මහාචාර්ය, අනුරාධ සෙනෙවිරත්න සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිද දැමීම බිසෝකොටුවේ සූචිත කාර්යයි ලෙසින් දක්වයි (2001:111). බිසෝකොටුව වැවෙන් පිටතට නික්මෙන ජල ධාරාවේ වේගය මදනය කිරීමටත් සෘජු ව වැව් බැම්ම තුළින් ජලය ගලා යෑම වැලැක්වීමටත් යෙදූ කදිම තාක්‍ෂණික උපක‍්‍රමයක් ලෙසින් වැදගත් වන අතර ම එමඟින් වෑ කණ්ඩිය මත ඇතිවන අධික ජල පීඩනය අඩු කොට දීර්ඝ කාලයක් වෑ කණ්ඩියේ ජීව කාලය ස්ථාපිත කරයි.

පැරණි වාරී කර්මාන්තකරුවන් පිටවාන නමින් වැදගත් තාක්‍ෂණික එළඹුමක් හදුනා ගෙන සිටි අතර වාරී සංස්කෘතියේ චිර කාලීන පැවැත් ම උදෙසා එම කරුණ ද සෘජු වැදගත් කමක් අත්කර ගනී. එනම් වැවෙහි වැඩි ජලය පිටවීමට ස්වභාවික ගල් තලාවක් භාවිත කිරීමයි. එමඟින් ඛාදනය සීමා වන අතර වැව් බැම්මට හෝ අනෙක් අංගයනට හානි නොවන අයුරින් පිටාර ජල මට්ටම පාලනය කිරීමට හැකි විය. වත්මන් කලා වැවේ පිටවාන මෙයට කදිම සාධකයක් සපයන අතර මහියංගනය ආසන්නයේ සොරබොර වැවෙන් ද මේ පිළිබද කදිම නිදසුනක් සපයා ගත හැකි ය. වැව් තාක්‍ෂණය හා අත්වැල් බැදගත් තවත් අනිවාර්ය අංගයකි ඇළ මාර්ග. එනම් වියළි කලාපයේ අධික සූර්යතාපය හේතුවෙන් සිදුවන අධික ජල වාෂ්පීකරණය හමුවේත් මාස 6ක් අබිභවනය වන නියඟය හමුවේත් අදාළ වාරී කර්මාන්තයනට අඛණ්ඩ ජල සැපැයුම අනිවාර්යය වෙයි. මේ සදහා තෙත් කලාපයේ ගලන්නා වූ ගංගාවන් හරස් කර ඉතා විශීෂ්ට වූ උපක‍්‍රම මඟින් වියළි කලාපයේ වැව් සදහා ජලය ලබා දීම වැදගත් එළඹුමක් වන අතර ම සමහර වාරි කර්මාන්තයන් එකක් මත එකක් රදා පවතින ජාලයක් සේ සංවිධිත කිරීමට මෙයින් හැකි විය. වාපී කර්මාන්තය හා සබැදි ඇළ මාර්ග පිළිබද ව සලකා බලන විට වාරී තාක්‍ෂණයේ චිර ජීවනය උදෙසා ප‍්‍රබලාකාරයෙන් වැදගත් වූ අවස්ථාවක් ලෙස මිණිපේ ජල හැරවුම හා අංඟමැඬිල්ල ජල හැරවුම වැදගත් ය. ඒ අවස්ථාවන් හී දී අදාළ ගංගාව සෘජු ව ම හරස් කිරීමට ලක් නොකර ගඟ දෙසට දිවෙන අතක් ආකාරයෙන් ගඟට නොදැනෙන ආකාරයෙන් ජලය ටිකක් ලබා ගැනීමට මෙමඟින් සමත් වී ඇති අතර ම අදාළ ගංගාවන්ගේ ගමන් මාර්ගයේ ස්වභාවයට අවම බලපෑමක් පමණක් කර පාරිසරික ස්වභාවික සංසිද්ධියක් මත මෙය ඉටු කිරීම එහි චිර කාලීන පැවැත්ම උදෙසා වැදැගත් වූ තාක්‍ෂණික උපක‍්‍රමයකි. බොහෝ සෙයින් වැදැගත් වූ ජයගඟ අධ්‍යයනය කිරීමේ දී ද පෙනී යන්නේ, ජයගඟ උතුරු දෙසට ගලාගියේ සම භූමියක් ඔස්සේය. තැනිතලාවක දියබැස්ම සැලැසුම් කිරීම දුෂ්කරය. ඔහෙත් දාතුසේන රජතුමාත්, ඉංජිනේරුවෝ ද එම දුෂ්කරතාව ජයගෙන ඇත. ඇලේ ඇතැම් තැනක බෑවුම සැතපුමකට අඩියකුත්, ඇතැම් තැනක සැතපුමකට අඟල් හයකුත් විය(සරත් 1998:36). උක්ත සියලූම තාක්‍ෂණික උපක‍්‍රම පුරාණ වාරී කර්මාන්තයේ නියැලි ශිල්පීන් යොදා ගත්තේ විශේෂයෙන් පරිසරයේ (ජල, ශිලා, වායූ ගොලයන්) ඓන්ද්‍රීය බව සුරක්‍ෂිත වන ආකාරයෙනි. ඉදිකළ සෑම වැවකින් ම භෞතික ව යම් ඉඩ ප‍්‍රමාණයක් ආවරණය වුව ද ඒ සෑම වාරී කර්මාන්තයක් ම අනෙක් පැත්තෙන් පාරිසරික පද්ධතියක් බවට පත් කළේ ය. මෙයින් පරිසරයේ ජීවත් වූ ජීව දර්ශකයන් සුරක්‍ෂික වූවා මෙන් ම ජීවී දර්ශකයේ ඉහළින් ම ස්ථාන ගත වූ මානවයාගේ පැවැත්මට ද ඉවහල් විය. ඒ අනුව, වැවක් තුළින් පාරිසරික තුළ්‍යතාව සුරක්‍ෂීත වූ අතර ම අනෙක් අතට එම පාරිසරික තුළ්‍යතාව ද වැව බොහෝ කාලයක් සුරක්‍ෂිත කළේ ය.

සාකච්ඡාව
ඉහතාකාරයෙන් දිවයිනේ වාරි පද්ධතිය හා ඒ හා බැඳුණු සංස්කෘතිය පිළිබඳ ව හා එහි විවිධ දිශානතීන් පිළිබඳ ව කරුණු රැසක් හඳුනා ගත හැකි වෙයි. සම්භවයේ සිට ම ජලය හා අත්‍යන්තයෙන් පරාධීන වූ මානව වර්ගයාගේ එක් උපකුලකයක් වන ලාංකේය මානවයා ද තම මනස ස්වභාවික පරිසරය සමඟ මනාව ඒකාබද්ධ කරමින් ඉතා වැදැගත් නිර්මාණ සමුච්චයක් ඇති කිරීමට සමත් විය. ඉතා සුළු වැව් හා වාරී මාර්ග නිර්මාණයෙන් තම කටයුතු ආරම්භ කළ ස්වදේශිකයා එය උච්චස්ථානයකට ගෙන යාමට සමත් විය. සතුන් සහිත ස්වභාවික පරිසරයත් සමඟ මනාව ඒකාබද්ධ කරමින් විශිෂ්ට තාක්‍ෂණික නිර්මාණයක් හෙවත් සහස‍්‍රක වසරකට වඩා ඉතාමත් සශ‍්‍රීක අයුරින් ක‍්‍රියාත්මක වන පද්ධතියක් ජනනය කිරීමට සමත් වූ අතර අද දවසේ මෙන් ම මතු දවසේත් යල් නො පනින තාක්‍ෂණික උරුමයක් වශයෙන් එය පවතිනු ඇත.

ආශ්‍රේය ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • ගුණවර්ධන, ආර්. (1993), සිවුර සහ නඟුල, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ.
  • බ්‍රෝහියර්, ආර්.එල්. (1935), ලක්දිව පුරාතන වාරිමාර්ග, පළමුවන කොටස, පරි. එල්. පියසේන, ලංකා රජයේ මුද්‍රණාලය, කොළඹ.
  • බ්‍රෝහියර්, ආර්.එල්. (1999),  බ්‍රෝහියර් දුටු ලංකාව, පරි. ඒ. හේවාවසම්, සූරිය ප‍්‍රකාශකයෝ, මරදාන.
  • සිංහල මහාවංශය – ප‍්‍රථම භාගය, (1999), සංස්. ශ‍්‍රී සුමංගල හා බටුවන්තුඩාවේ දෙවරක්‍ෂිත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ.
  • ලගමුව, ඒ. (2000), ප‍්‍රායෝගික ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යාව, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
  • සරත්, එල්. (1998), වැවක වතුර,  නව සංස්කරණය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සුරවීර, ඒ.වී. (2000), අනුරාධපුර සංස්කෘතිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සෙනෙවිරත්න, ඒ. (1998), වැව් හා වාරිමාර්ග, අපේ සංස්කෘතික උරුමය, ද්විතීය කාණ්ඩය, සංස්. ඒ. ගුරුගේ, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • සෙනෙවිරත්න, ඒ. (2001), පුරාණ සිංහල වාරී සංස්කෘතිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • හේරත්, එච්.එම්.ඞී.ආර්. (1998), ගම, සිංහල විශ්වකෝෂය, නවවැනි කාණ්ඩය ප‍්‍රධාන කර්තෘ, කේ.එන්.ඕ. ධර්මදාස, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Jayasena, H.A.H. & K.R. Gangadhara, (2006), The Evolution of AINS in the Middle East and Tank Cascade System (TCS) IN Sri Lanka – Was It Parallel? The Paper Presented on 4th AINS Irrigation System Kaiy Asdulazis University , Jeddha, Saudi Arabia Feb. 23-25
  • Kalhana’s Rajatarangini – A Chronical of the Kings of Kasmir, Vol. I, (1961, Translated by. M. A. Stein, Motilal Banarsidass, Delhi.
  • Panabokke, C.R. (2003), Small Tank Cascade System of the Rajarata Water for People and Nature – Arrumugam Commemoration Volume ed. by. B. Kamaladasa, & D.L.O. Mendis, Ministry of Irrigation and Water Management Colombo (123-132)
  • Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Vol. I, Department of Archaeology, Ceylon.
  • Seneviratne, S. (1984), The Archaeology of Early Megalithic Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No. 5 Department of Archaeology, Sri Lanka. (237-307)
  • Silva, R. (2000), Development of Ancient Cities in Sri Lanka, Reflection on a Heritage, ed. by. R. A. L. H. Gunawardhana. and Others, Central Cultural Fund, Colombo.(49-81)

(2008 නොවැම්බර්)

පැල්මඬුල්ලේ ඓතිහාසික ධර්ම සංගායනාව

සමන් ඉන්දික ජයසිංහ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.

Most_Venerable_Hikkaduve_Sri_Sumangala_Thero_(1827-1911)
හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමිපාණන් වහන්ෙස් (https://en.wikipedia.org/wiki/Hikkaduwe_Sri_Sumangala_Thero උපුටා ගන්නා ලදී)

ථේරවාද බෞද්ධ ධර්ම සංගායනා කීපයක් ම දඹදිව පවත්වන ලද බව අපි දනිමු. අප රටෙහි ද සංගායනා කිහිපයක් ම පවත්වන ලද බව ලංකා ශාසන ඉතිහාසය කියයි. මෙම සංගායනාවලට දඹදිව සිදුකරන ලද සංගායනා වලට තරම් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසත් සහභාගී නොවූවත් සාසන ඉතිහාසය අතින් බලන විට ඒවා ද ලඝු කොට තැකීම සුදුසු නොවේ. මෙම සංගායනා අතර මුලින් ම සඳහන් වන්නේ මිහිඳු මාහිමියන් දවස මෙ රට පැවැත් වූ විනය සංගායනාවයි. ඉන්පසු වළගම්බා රජු දවස මාතලේ අළුලෙනේ දී කරන ලද ධර්ම සංගායනාව ධර්මය පුස්ථකාරූඪ කරනු වස් සිදුකරන ලද්දකි. මෑත භාගයේ දී අප රටේ සිදුකරන ලද සංගායනාවල දී ද බොහෝ සෙයින් සිදුකරන ලද්දේ ත‍්‍රිපිටකාගත පාඨාදිය ඉවත් කොට එකී ග‍්‍රන්ථ සංශෝධනය කිරීමයි. ධර්මය චිරස්ථායී කරනු පිණිස එය අත්‍යාවශ්‍ය කාර්යයකි. මේ අතින් පැල්මඩුල්ලේ සුදර්ශන ශාලාවේ පවත් වනු ලැබූ සංගීතිය ද අතිශයින් වැදගත් වේ. එ බැවින් ඒ පිළිබඳ ව විස්තරයක් ඉදිරිපත් කිරීම අගය කළ යුතු ය. සබරගමු ඉතිහාසයේ සිදු කෙරී ඇති උසස් ම ධර්ම ශාස්ත‍්‍රීය කර්තව්‍යය ද එය වන නිසා මෙහි වැදගත්කම වඩාත් තහවුරු වේ.

මෙම සංගායනාව රාජ්‍ය අනුග‍්‍රහයෙන් පැවැත් වූවක් නොවේ. වළගම්බා රජ්‍ය කාලයේ කරන ලද පුස්තකාලරූඪ සංගීතියට ද එම රජතුමාගේ අනුග‍්‍රහය ලැබුණු බවක් මහාවංසය ආදී වංස කතා වලින් හෙලිදරව් නොවේ. එයට අනුග‍්‍රහය ලැබී ඇත්තේ ප‍්‍රදේශාධිපතියෙකුගෙනි. එ මෙන් ම පැල්මඩුල්ල සංගීතිය සඳහා ද අනුග‍්‍රහය ලැබී ඇත්තේ එ වකට සබරගමුවේ ප‍්‍රදේශාධිපතියෙකුව සිටි ඉද්දමල්ගොඩ බස්නායක නිලමේතුමාගෙනි.

සංගායනාවට සහභාගී වූ තෙරවරු
පැල්මඩුලු සංගායනාව පැවැත් වූ වකවානුවෙහි ලක්දිව පැවතියේ සියම්, අමරපුර යන නිකාය දෙක පමණකි. මේ සඳහා මෙකී උභය පාර්ශවයේ සංඝයා කිසිම භේදාදියක් නොමැති ව හුදෙක් ශාසන දියුණුව ම අපේක්ෂා කර ක‍්‍රියාකර තිබීම ආදර්ශයකි. සියම් නිකාය වෙනුවෙන් මූලිකත්වය දරා ඇත්තේ අතිගරු හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමිපාණන් හා අමරපුර නිකාය වෙනුවෙන් මූලිකත්වය දරා ඇත්තේ අතිගරු ලංකාගොඩ ශ‍්‍රී ධීරාන්නද මාහිමි පාණනුත් ය. මෙම ත‍්‍රිපිටක ග‍්‍රන්ථ ශුද්ධිය පිලිබඳ ව ඇති විශේෂ වෙනස නම්, (එතෙක් සාසන ඉතිහාසයේ පැවිදි පස පමණක් සම්බන්ධ වී ගායනා කළ ද) මෙයට ගිහි පසින ද එකතු වීමයි. එ සේ සම්බවන්ධ වී ඇත්තේ ධර්ම විනය ශබ්ද ශාස්ත‍්‍රාදිය පිළිබඳ ව හසල බුද්ධිමතෙකු ව සිටි බටුවන්තුඩාවේ ශ‍්‍රී දේවරක්ෂිත පඬිතුමා ය. මෙම සංගායනාව සඳහා ලක්දිව එ වකට සිටි ව්‍යක්ත බහුශ‍්‍රැත ධර්ම විනයධර අග‍්‍රගණ්‍ය උගතුන් සම්බන්ධ වූ බව නම් සක්සුදක් සේ පැහැදිලි ය.

ඉන්පසු සර්වඥ ධාතූ කරඩුව ඇතුන් පිට පණවා මහත් පෙළහරින් කළුතර, වස්කඩුව ආදී ගම්වැසියන්ගේ උපකාරය ඇති ව පානදුරේ විහාරයට වඩම්මවන ලදී. ඒ ගම්වාසීන් පුදසිරිත් ගරු සත්කාර කොට පානදුරේ ආදී ගම්වැසියන් සමඟ රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, කොල්ලූපිටිය, හුණුපිටිය යනාදී ගම්වැසියන්ගේ උදව් උපකාර ඇති ව කොළඹ කොටහේනේ විහාර දෙකකට ගෙන එන ලදී. පසුව දෙමටගොඩ විහාරයේ වාසය කළ ලංකාගොඩ ස්වාමීන් වහන්සේ සමඟ සියම් අමරපුර නිකායන් ද්විත්වයේ ස්වාමීන් වහන්සේලා හතලිහක් පමණ සහ කොටහේනේ විහාර දෙකේ දායක කාරකාදීන් හා කොළොම්පුර වාසීන් විසින් ද පෙළහරින් පැල්මඩුල්ලට ධාතූන් වැඩම කරවන ලදී. මෙම මහ පෙරහර සේදවත්ත, කඩුවෙල, කළුඅග්ගල, කොස්ගම, කැන්දගමුව, කටුතියඹරාව, සබරගමු දේවාලය, වෙරලූපේ, රත්නපුර, බටුගෙදර ආදී උඩ පාත දෙ රට ගම්වැසි ලොකුකුඩා සද්දා සම්පන්න මහා සෙනඟින් පුද සත්කාර ඇති ව ජූලි මස 20 වැනි දින පැල්මඩුල්ලේ සුදර්ශනාරාම නමින් ප‍්‍රසිද්ධ විහාරයට වැඩමවන ලද්දේ ය. එ තැන් පටන් දස දිනක් පූජා පවත්වා නිකායන් ද්විත්වයේ භික්ෂූන්ගේ සුඛ විහරණය උදෙසා වෙන් වෙන් වශයෙන් අපේ සංගීකාරාමය ආදී සෙනසුන් යහපත් පරිද්දෙන් පිළිගන්වා අගෝස්තු මාසයේ 4 වැනි දින ත‍්‍රිපිටකයේ පොත් වහන්සේලා පෙළහරින් සුදර්ශන ධර්මශාලාවට වැඩමවාගෙන සරසන ලද ධර්ම මණ්ඩප්පයක සියම් අමරපුර උභය පාර්ශවයේ මහා සංඝයා වහන්සේ ඇතුළු ශ‍්‍රී පාදයේ නායක ස්වාමීන් වහන්සේ ලවා ප‍්‍රථම සංගායනාව සිදුකර ඇත. ඉන් පසු එම ප‍්‍රභූ පාර්ශවය ඉදිරියේ මෙ සේ සඳහන් කර තිබිණි.

‘‘පින්වත් ස්වාමීනී අවුරුදු දහස් ගණනක් පමණ කාලේ පටන් සිට උතුම් බුද්ධ දේශික ත‍්‍රිපිටකයේ පොත් වහන්සේලා අව්‍යක්ත ලිපි කරුවන් විසින් අතිනතට ලිවීමෙන් පද ඌණතාදී වූ විපත්ති දෝෂ පැමිණීමෙන් ඇති ත‍්‍රිපිටකයේ පොත් වහන්සේලා මෙ කලට දැන් නුඹ වහන්සේලාගේ වියපත්කම් කරමින් ස්‍යාම මරම්ම සිංහල තුන් රටෙහි පැවත එන ත‍්‍රිපිටකයේ පොත් සහිත බොහෝ පොත් හා සංසන්දනය කොට බලා ඇති ඒ දෝෂයන් හැර සුද්ධ කිරීම සංඛ්‍යාත ධර්ම සංගායනාවක් කොට ශුද්ධ ත‍්‍රිපිටකයක් ලියවා තැබීමෙන් පන්දහසක් පවත්නා අපගේ බුද්ධ සාසනය කෙරෙහිද කරුණාව මෛත‍්‍රී සිත් උපදවා අප විසින් භාරදෙන ලද ත‍්‍රිපිටකයේ පොත් ශුද්ධිය කර වදාළ මැනවැ’’

යනුෙවන් කියා ත‍්‍රිපිටකයේ පොත් වහන්සේලා යථෝක්ත ස්ථවිරයන් දෙනම ප‍්‍රමුඛ පණ්ඩිතෝත්තමයන් වහන්සේලා අතට භාර දී ඇත (සබරගමු වංශකතාව, පි.220. ඒ අනුව සියම් නිකාය වෙනුවෙන් හික්කඩුවේ නායක තෙරුන් වහන්සේ, අමරපුර නිකාය වෙනුවෙන් ලංකාගොඩ මහා ථෙර, බටුවන්තුඩාවේ පණ්ඩිතතුමා යන ති දෙනා ඇරයුම භාරගත් අතර බුලත්ගම තෙරණුවෝ ද මෙහි කටයුතු සංවිධානයට කැමති වි ය. ඉන්පසු පාරාජිකා, පචිනි, සුළු වග යන පොත් තුන සංගායනා කරන්නට ආරම්භ කර ඇත.

සංගායනාව කළ ආකාරය
පැල්මඩුල්ලේ සුදර්ශන ධර්මශාලාවට පෙරහරින් වැඩම කරවන ලද සියම් අමරපුර යන දෙනිකායේ මහා සංඝරත්නය ලවා මෙම සංගායනාව කරවීම අරඹා ඇත. දෙපාර්ශවයෙන් පස්නම බැගින් තෝරාගෙන ඇති අතරම සියම් නිකායේ පස්වැන්නා ලෙස තෝරාගෙන ඇත්තේ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬි තුමා ය.

සියම් නිකායෙන්

  1. රත්මලානේ පරම ධම්ම චේතිය පරිවෙණාධිපති ගණාචාර්ය්‍ය වලානේ ශ‍්‍රී සිද්ධාර්ථ මහා ස්ථවිරයන් වහන්සේ.
  2. ගණාචාර්ය උඩුගම්පොළ ශ‍්‍රී රතනපාල මහස්ථවිරයන් වහන්සේ.
  3. හික්කඩුවේ ශ‍්‍රී සුමංගලාභිධාන ශ‍්‍රී පාදස්ථානයේ නායක ස්ථවිරයන් වහන්සේ.
  4. ගණාචාර්ය යාත‍්‍රාමුල්ලේ ශ‍්‍රී ධර්මාරාම ස්ථවිරයන් වහන්සේ.
  5. බටුවන්තුඩාවේ ශ‍්‍රී දේවරක්ෂිත පඬි තුමා.

අමරපුර නිකායෙන්

  1. ලංකාගොඩ ශ‍්‍රී ධීරානන්ද නායක ස්ථවිරයන් වහන්සේ.
  2. රන්දොඹේ ශ‍්‍රී ධර්මාලංකාර නායක ස්ථවිරයන් වහන්සේ.
  3. දොඩම්දූවේ ශ‍්‍රී පියරතන තිස්ස නායක ස්ථවිරයන් වහන්සේ.
  4. වැලිගම ශ‍්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේ.
  5. වස්කඩුවේ ශ‍්‍රී සුභූති නායක ස්ථවිරයන් වහන්සේ.

දෙපාර්ශවය වෙනුවෙන් සංගායනාවේ දී මූලිකත්වය දරා ඇත්තේ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නායක හිමිපාණනුත් ලංකාගොඩ ශ‍්‍රී ධීරානන්ද හිමිපාණනුත් ය. සංගායනාවේදී විනය පොත් පහ ඉහත සඳහන් ආකාරයට පෙර දැක්වූ මහ තෙරවරුන් අතර වගකීම් බෙදාගෙන සංගායනා කර තිබේ (සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පි.250-254).

Sri Lanka
(http://www.yuthukama.com/2015/11/ParihaniyataPilithuruSoyamu.html අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

විනය පිටකයේ පළමු පොත හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමිපාණෝ, පුවක්දණ්ඩාවේ සුමංගල හිමිපාණෝ, බටුවන්තුඩාවේ පඬිතුමා ද යන පණ්ඩිත සභාවට භාර වි ය. දෙ වැනි පොත ලංකාගොඩ ධීරානන්ද නායක හිමිපාණෝ, වැලිතර ධම්මාලංකාර හිමිපාණෝත්, වස්කඩුවේ ශ‍්‍රී සුභූති හිමිපාණෝත්, කෝදාගොඩ පඤ්ඤාසේකර හිමිපාණෝත් ඇතුළු පණ්ඩිත සභාවටත් භාර විය. තුන් වැනි පොත හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමිපාණෝත්, මුල්ලේරියාවේ ගුණරතන හිමිපාණෝත් ඇතුළු පණ්ඩිත සභාවට භාර වි ය. සතර වැනි පොත වැලිගම සුමංගල හිමිපාණෝත්, දොඩම්දූවේ පියරතන හිමිපාණෝත් ඇතුළු පණ්ඩිත සභාවට භාර වි ය. පස් වැනි පොත වලානේ ශ‍්‍රී සිද්ධාර්ථ හිමිපාණෝත්, උන්වහන්සේගේ ශිෂ්‍යයනුත් සහිත සභාවට භාර වි ය. අනතුරු ව හැට නමක් පමණ වූ මහ තෙරවරුන් හා ගිහි පඬිවරුන් ද සහිත සභාවක දී ශුද්ධ කර සකස් කළ මෙම පොත් පහ අවසාන වශයෙන් සංගායනා කර සම්මත කරන ලදී. මෙහිදී විනය පිටකය හා සම්බන්ධ අටුවා පොත් ශුද්ධ කර ඇති බව සඳහන් ව ඇත. ඉන්පසු සූත‍්‍ර පිටකය හා අභිධර්ම පිටකය ද සංගායනා කිරීමට කටයුතු පිළියෙළ කළ බව පැරණි වාර්තාවල සඳහන් වේ. ඒවා ශුද්ධ කර ඇත්තේ පැල්මඩුල්ලේ සුදර්ශන ධර්ම ශාලාවේ දී නොව සංගායනාවට සහභාගී වූ තෙරුන් වහන්සේලාගේ ආරාම වල දී ය. එහෙත් කතිකා කරගත් එක් අවස්ථාවක දී යළිත් පැල්මඩුල්ලට පැමිණ ශුද්ධ කළ පොත් පිළිබඳව සාකච්ඡා කර සම්මත කළ බව ද වාර්තාවල දැක් වේ. මේ ක‍්‍රමයට ත‍්‍රිපිටකය සංශෝධනය කළ බව පෙනේ.

ශ‍්‍රී සුමංගල චරිතයේ 173/174 පිටුවල පලවන පහත සඳහන් වාර්තාව ද මෙම සංගායනාව කළ ආකාරය පිළිබඳ සැබෑ තතු හෙළිදරව් කරන්නක් වන බව පෙනේ.

‘‘ආරාධනා ලත් භික්ෂූන් වහන්සේ ධර්ම ශාලාවට පැමිණ සාකච්ඡා කොට එක වරකට එක් පොතක් ශුද්ධිය සඳහා සම්මත කර ගත්හ. එසේ සම්මත කරගනු ලැබූ පොත් එක එක පිටපත එක එක ශෝධනයන් වහන්සේට භාරදුන් පසු එය තමන්ගේ කාමරයට ගෙන ගොස් තවත් පිටපත් සමඟ ද සියම්, බුරුම පිටපත් සමඟ ද සසඳා සංශෝධනය කොට සකස් කළහ. මෙ සේ සකස් කළ හැම පොතක් ම නියමිත දින නියමිත වෙලාවට රැස් වූ සභාව ඉදිරියේ තැබූහ. හැම පොතකම එක සේ සකස් කොට ශුද්ධ කොට තිබුණු සාමාන්‍ය තැන් හැම දෙනාම සම්මත කළහ. තම තමන්ට සැක සහිත යැයි ලකුණු කොට ගත් තැන් සභාවේ කියවා බොහෝ සාකච්ඡා කොට කරුණු සසඳා බලා කවුරුත් ඒකමතික වූ කල්හි ශුද්ධ යයි පිළිගත්හ. මෙ ලෙස කටයුතු කළ ප‍්‍රථම සභාවාරයට සත් මසක් ගත වි ය. මේ සත් මාසය තුළම කරන ලද්දේ අටුවා ටීකා සහිත විනය පිටකය ශුද්ධ කිරීම පමණකි. ඉන්පසුව කලක්ම ගතවී නැවත සූත‍්‍ර පිටකය සංගායනා ආරම්භ වි ය. මුලින්ම පැවති ආකාරය මදක් වෙනස් කොට තම තමන්ට නියමිත කාමර වල දී නොව තම තමන්ගේ පන්සල්වලදීම තමන්ට භාර පොත කියවා වෙන පොත් සමඟ සංසන්දනය කොට බලා යම් යම් තැන් ලකුණු කරගෙන මහා සභා වාරයේ දී එහි පැමිණි සැම දෙනාම සාකච්චා කිරීම දෙ වන වතාවේ සිරිත විය. මෙය පොත් ශුද්ධිය නැණවතුන්ට මෙන්ම කරවූ සැදැහැවතුන්ට ද පහසුවක් විය. මෙ ලෙසින් අභිධර්ම පිටකය ද සංශෝධනය කළහ. මෙසේ මහෝත්සහයෙන් ශුද්ධ කළ මෙම පොත් ලිපි කාරයන් ලවා පුස්කොළවල ලියවා ලක්දිව ප‍්‍රධාන විහාරස්ථානයන්හි පුස්තකාලවල තැන්පත්කර තැබීම ඉද්දමල්ගොඩ නිලමේගෙ අදහස වි ය. පොත් ශුද්ධ කිරීමේ නියුක්ත වූ උගත් මහ තෙරුන් වහන්සේ විසින් මැනවැයි සම්මත කළ ලේඛකයන් ලවා මිස අතින් සාමාන්‍ය ලේඛකයන් ලවා පොත් නොලියවූහ.’’

අති ගරු කළුකොඳයාවේ ප‍්‍රඥාශේඛර මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් සංගායනාව පිළිබඳ ව පළ කරවන ලද ලිපිලේඛන වාර්තා කීපයක් ම පළ වී ඇති අතර ශුද්ධ කළ ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල අනාගත සුරැකුම පිළිබඳ ව පළ කළ අදහස් මෙ සේ දැක් වේ.

‘‘මෙම පොත් වහන්සේලා සම්බන්ධ වූ පාඨ ශෝධනය බුද්ධ ශාසනය චිරස්ථායිව පැවැත්ම පිණිස කරන ලද හෙයින් බුද්ධ ශාසනාන්තර්ගත ගිහි පැවිදි සියල්ලන්ගේ ප‍්‍රයෝජනය පිණිස පැවතිය යුත්තේය. ඒ පිණිස මෙම පැල්මඩුල්ලේ ශ‍්‍රී සුදර්ශන ධර්ම ශාලාවේ මේ පොත් වහන්සේලා තබා මෙම ගිහි රදළවරුන් වෙනුවෙන් රත්නත‍්‍රයේ උපස්ථායක කටයුතු කරන ගෘහස්ත ආරාමික කෙනෙක් භාරයේ තිබිය යුතුය.’’

‘‘එ සේ තිබෙන්නා වූ පොත් වහන්සේලා පිටපත් කොට ලියවා ගන්ට ඕනෑ කරන කෙනෙක් විසින් මෙහි නම් සඳහන් කළ ඉද්දමල්ගොඩ අභයකෝන් අතපත්තු මුදියන්සේ රාළහාමි සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේගෙන් ලියවා ගන්නා පිණිස අවසර ලබාගත යුතුය. එසේ අවසර ලබාගත් පසු පොත් පිටපත් කර ලියන්නන් මෙම සුදර්ශන ධර්මශාලාවට එවා මෙහි දී ම පිටපත් කරවා ලියවා ගත යුතුයි.’’

‘‘මෙම ධර්ම ශාලාවේ නොහොත් මීට අයිති යම් ගෙයක හිඳ මෙම පොත් වහන්සේලා පිටපත් කරන්නා වූ ලියන්නන්ට මෙම ධර්ම ශාලාවේ උපදනා අයෙක් මෙහි තිබෙන ප‍්‍රත්‍යයෙකින් ආහාර වියදම් දිය යුතු ය. එ සේ පොත් වහන්සේලා ලියවා පිටපත්කර ගත්තායින් පසු පොත් වහන්සේලා පිහිටුවා තිබෙන තැන්හිම නැවතත් තැන්පත් කොට තැබිය යුතු ය.’’

‘‘එක ම කාලයෙහි කීප දෙනෙක් විසින් පොත් වහන්සේලා ලියවා ගන්ට ඉල්ලා සිටියොත් මෙම පොත් වහන්සේලා ශුද්ධ කොට ලියවන්නට වෙහෙස දැරූ ස්ථිවිරයන් වහන්සේලාගේ ඉල්ලීම වශයෙන් යුතුකම් බලා වැඩි යුතකම් ඇති කෙනෙකුට පළමුවෙන් ලියවා ගන්නට අවකාශ දිය යුතුයි.’’

‘‘මෙ සේ මේ ව්‍යවස්ථාව කර තබන්නට යෙදුණේ ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදාස් හාරසිය අටලොසට පැමිණි පොසොන් අව අටවක ලත් රිවි දින ක‍්‍රිස්තු වර්ෂයෙන් 1874ක් වූ ජූනි මස 7 වැනි දින සංඝ සභාවේ අවසරය ලෙස ඉද්දමල්ගොඩ අභයකෝන් අතපත්තු මුදියන්සේ රාළහාමි සපරගමු මහ සමන් දේවාලේ බස්නායක නිලමේ ප‍්‍රධාන වූ මෙහි නම් සඳහන් කළ රදළ වරුන් විසිනි.’’

මෙම සංගායනාව පිළිබඳ හාස්‍යෝත්පාදක තැන් ද ඇත. ‘‘සිප්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේ විසින් ශුද්ධ කරන ලද පොත් වහන්සේගේ අනුමාන පද ගැන ලංකාගොඩ නායක සාමි දරුවො විසින් සභාවේ කියවද්දීත් මමත් ස්වමීපයෙහි අහගෙන සිටියා සතුටින් මක් නිසා ඒවායේ තොරතුරු මදක් මමත් දන්වා. මේ හැර අර ඉහතින් කියන ලද අය නම් සභාවට ගියත් කිසිම කතාවක් බවක් නැතිව බකමූණු රජ්ජුරුවෝ වගේ බුකවාගෙන ඉන්නවා මිසක් ඒ ගැන කතාවක් කරන්නට ශක්තිය ඇති කෙනෙක් නොවේ (සබරගමුව වංස කතාව, පි.227).

විනය පිටක සංගායනාව අවසානයේ පහත සඳහන් පාලි පාඨය යොදා නිමාව කර ඇත.

‘‘බුද්ධස්ස භගවතො පරිනිබ්බානතො චතුසතාධිකානං ද්වින්නං වස්ස සකස්සානං උපරි එකාදසම සංචච්ජරෙ ලංකාදීප වාසිනං උපාලි වංසතානං මේව වරම්ම වංසිකානංච සපරගාම ජනපදෙ සුසප්ජිතාය සුද්දස්සනාභිධානාය ධම්ම ශාලාය උපට්ඨිත සහාය සපරගාම වාසිනා පභුජනේන උත්සාහිතාය සට්ඨකථං විනය පිටකං සංගායිත.’’

(සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස් සාරසිය එකළොස්වැන්නේ ලක්දිව වැසි උපාලි වංශික හා තුම්ම වංශික (අමරපුර) ධර්ම විනයෙහි සමර්ථ තෙරවරු විසින් ගිහි පඬිවරුන් විසින් සපරගමු ජනපදයේ මනාව ඉඳි කළ ‘‘සුදර්ශනා’’ යයි නම් පටබැඳි ධර්ම ශාලාවේ රැස් වූ සපරගමු වැසි ප‍්‍රභූ ජනයන්ගේ ආරාධනාවෙන් අටුවා සහිත විනය පිටකය සංගායනා කළ වගයි.)

මෙ සේ සංගායනා කරන ලද ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පිටපත් සුදර්ශන ධර්මශාලාවේත්, රාජ්‍ය ලේඛනාගාරයේත් තැන්පත් කරවන ලදී.

පරිශීලන නාමාවලිය 

  • ඤාණවිමල හිමි, කිරිඇල්ලේ, (1942) සපරගමුවේ පැරණි ලියකියවිලි, ලෝකෝ මුද්‍රණාලය, කොළඹ.
  • ඤාණවිමල හිමි, කිරිඇල්ලේ, (1967) සපරගමු දර්ශනය, කතෘ ප‍්‍රකාශනයකි.
  • මේධානන්ද හිමි, එල්ලාවල, මඩලගම වජිරබුද්ධි හිමි හා සිරිල් චන්ද්‍රසේකර, (2003) සබරගමු වංසකතාව, දෙ වන වෙළුම, සබරගමු පළාත් සභාව, රත්නපුර.
  • ලියනගේ, බන්දුල, (1992), ඓතිහාසික රත්නපුර, සබරගමුව උදාන අංක 2, සබරගමු පළාත් සභාව, රත්නපුර.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සමුදෙන ජගත් කීර්තිධර පුරාවිද්‍යාඥයා : ආචාර්ය හලාවතගේ නිමල් පෙරේරා

බූමහංසි විජේසිංහ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

H. Nimal Perera__Sri Lanka_Prehistory
ආචාර්ය හලාවතගේ නිමල් පෙරේරා මහතා

ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියනෑ කෝරලයේ මැදපත්තුවේ වැලිවේරිය නැඳුන්ගමුව නම් ගමේ තෝමස් පෙරේරා හා ලිලී මාග‍්‍රට් පෙරේරා යන යුවලට දාව 1953 දෙසැම්බර් මස 23 දින හලාවතගේ නිමල් පෙරේරා නමින් මෙ තුමා උපත ලැබී ය. සහෝදරියන් දෙ දෙනෙකු හා සහෝදරයකුගෙන් සමන්විත මෙම පවුලේ වැඩිමලා වන්නේ මෙ තුමා ය. උපතින් ම රෝමානු කතෝලිකයකු වන නිමල් පෙරේරා මහතා වැලිවේරිය රෝමානු කතෝලික පාසැලෙන් (මද්දුම බණ්ඩාර කණිෂ්ඨ විද්‍යාලයෙන්) මූලික අධ්‍යාපනය ලබයි. උසස් පෙළ හැදෑරීම සඳහා ඇඹරළුව සුභාශ‍්‍රී මහා විද්‍යාලයට ඇතුළු වී උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබා ගෙන 1976 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සමත් වි ය. භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව හා පුරාවිද්‍යාව යන විෂයන් හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශ‍්‍රාස්ත‍්‍රවේදී උපාධිය ලබාගෙන 1979 දී උපාධිධාරියකු ලෙස විශ්වවිද්‍යාලයෙන් පිට වේ. විශ්වවිද්‍යාලයේ දී පුරාවිද්‍යා විෂය හැදෑරීමත් ඒ පිළිබඳ වැඩිදුර උනන්දුවක් දැක්වීමත් හේතුකොට ගෙන මොහු පිළිබඳ මහාචාර්ය පි.එල්. පේ‍්‍රමතිලක මහතාගේ අවධානයට ලක් වේ. එම හේතුව නිසා ම පුරාවිද්‍යා ක්‍ෂෙත‍්‍රයට පිවිසීමේ වරම මොහු විසින් උදාකර ගනී. තම ශිෂ්‍යාගේ හැකියාවන් හා දක්‍ෂතාවන් හොඳින් වටහාගත් එ වකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති වූ මහාචාර්ය පි.එල්. පේ‍්‍රමතිලකයන් මෙතුමා සිරාන් දැරණියගල මහතාට හඳුන්වා දෙනු ලබයි. පුරාවිද්‍යා විෂයට මොහුගේ ඇති දැඩි ආශාවත් කැප කිරීමත් උනන්දුවත් හඳුනාගන්නා ආචාර්ය දැරණියගලයන් මොහුගේ දැනුම වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නව මංපෙත් විවෘත කර දෙන අතර කියවීමට අවශ්‍ය පොත්පත් ආදිය පිළිබඳ කියා දෙමින් මොහුගේ ඉංග‍්‍රීසි භාෂා දැනුම මෙන්ම පුරාවිද්‍යා විෂයානුබද්ධ දැනුම ද ඉහළ තලයකට ගෙන ඒමට සමත් වේ.

මුලින් ම 1980 දී රු. 9.60 වැටුපට අනියම් කම්කරුවෙකු ලෙස කුරුවිට බටදොඹ ලෙන කැණීමට සම්බන්ධ වේ. 1980 සිට 1982 දක්වා අනියම් කම්කරුවෙකු ලෙස පුරාවිද්‍යා කැනීම් වලට සහභාගී වන මොහු හට 1982 පෙබරවාරි 1 වැනි දා සිට කාර්මික සහකාර කැනීම් නැමැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පත් වීමක් ලැබේ. එ තැන් සිට මෙ තුමා දිවයිනේ සිදු කරන ලද විවිධ ප‍්‍රදේශවල ප‍්‍රාග් ඵෙතිහාසික කැනීම් සඳහා දායක වන අතර ඒවායේ හමුවන අවශේෂ හා පුරාවස්තු විශ්ලේෂණයෙන් ප‍්‍රාග් ඵෙතිහාසික පුරාවිද්‍යා කැනීම් පිළිබඳ හසල අත්දැකීමක්, පුහුණුවක් හා දැනුමක් ලබා ගනී. 1980 දශකයේ දිවයිනේ සිදුකරන ලද ප‍්‍රධානතම ප‍්‍රාග් ඵෙතිහාසික ලෙන් කැනීම් වන කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන හා හොරණ බුලත්සිංහල ෆා-හියන් ලෙන මේවා අතර විශේෂ කැනීම් වේ.

ලංකාවේ මේ කාලයේ දී සිදු කරන ලද තවත් ප‍්‍රධාන ඵෙතිහාසික කැනීම් ගණනාවකට ද මෙ තුමා සහභාගී වී ඇත. ඒ අතර 1984 සිට 1988 දක්වා සිදු කරන ලද අනුරාධපුර ඇතුළුනුවර කැනීම්, 1980 සිට 1984 දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ලන්ඩන් විශ්ව විද්‍යාලය, චිකාගෝ විශ්ව විද්‍යාලය ඒකාබද්ධ ව සිදුකරනු ලැබූ පැරණි මාතොට වරාය කැනීමත් (මන්නාරම) විශේෂයෙන් හඳුන්වා දිය හැකි ය. මේ පුරාවිද්‍යා කැනීම සඳහා ඇමරිකානු ජාතික ආචාර්ය මාර්තා ප්‍රිකට් සහ බි‍්‍රතාන්‍ය ජාතික ආචාර්ය ජෝන් කාස්වෙල් සහභාගී වූ අතර ඔවුන්ගේ ගුරුහරුකම් මැද කළ මෙම කැනීම් තුළින් එම දැනුම ලබාගැනීමටත් මෙහි දී මෙ තුමාට හැකි වි ය. තව ද මෙම කැනීමට ශිෂ්‍යයන් ලෙස ඉන්දිය පුරාවිද්‍යා කොමසාරිස් බි.කේ. තාපර් හා ඩෙකෑන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (ඩෙකෑන් කොලේජ්) ආචාර්ය සින්ඩි හා ආචාර්ය මොහන්තේ ද සහභාගී වී තිබීම විශේෂයෙන් මතක් කළ යුතු වේ.

V.N. Misra_Prehistory_India
මහාචාර්ය වි.ඒන්. මිශ්‍රා මහතා

මෙ ලෙස දේශීය වශයෙන් පැවති පුරාවිද්‍යා කැනීම් ගණනාවකට සහභාගි වෙමින් ද ඒ සඳහා සහභාගී වූ විදේශීය විද්වතුන් හා උරෙන්උර ගැටෙමින් කටයුතු කරමින් ද තව ද ඔවුන්ගේ ගුරුහරුකම් ලබමින් ද තම පුරාවිද්‍යා දැනුම පෝෂණය කර ගන්නා මෙ තුමා 1990 පුරාවිද්‍යා සියවසෙන් පසු ශිෂ්‍යත්වයක් දිනා ගනී. මෙම ශිෂ්‍යත්වය Forth Foundation හා පුරාවිද්‍යා පශ්චාත් ආසියා ආයතනය හරහා ලැබෙන අතර ඩෙකෑන් විද්‍යාලයේ දෙ වසරක පුරාවිද්‍යා ශාස්ත‍්‍රපති උපාධිය හැදෑරීමට හැකියාව ලැබේ. එහි දී මෙ තුමාට ඉන්දියාවේ මහාචාර්ය වි. එන්. මිශ්‍රා යටතේ පුහුණුව ලැබීමට අවකාශ ලැබේ. ප‍්‍රාග් ඵෙතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වන මෙ තුමා සමඟ කටයුතු කිරීමේ දී ඉන්දියාවේ පැවති ප‍්‍රාග් ඵෙතිහාසික ගල් ආයුධ අධ්‍යයනයට සම්බන්ධ වීමටත්, ඉන්දීය ප‍්‍රාග් ඵෙතිහාසික ගල් ආයුධ පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත් හැකි වී තිබේ. මධ්‍ය පැලියෝලිතිකයේ හා ඉහළ පැලියෝලිතිකයේ අත් පොරෝ හඳුනා ගැනීම සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබේ. වි.එන්. මිශ‍්‍රා යනු ලෝකයේ සිටින විශිෂ්ට ප‍්‍රාග් ඵෙතිහාසික පුරාවිද්‍යාඥයෙක් වන අතර ඔහු සමඟ කටයුතු කිරීමේ දී ඔහු හා කටයුතු කරන ලොව පුරා විසිරුණු තවත් විශේෂඥයන් ගණනාවකගේ ඇසුර ලබා ගැනීමටත් ඒ මඟින් ඔවුන්ගේ දැනුම උකහා ගැනීමටත් මෙහි දී නිමල් පෙරේරා මහතා වාසනාවන්ත වි ය. ඒ අනුව වසර දෙකකට පසු ඩෙකෑන් විද්‍යාලය මඟින් පිරිනමන ශාස්ත‍්‍රපති පළමු පංතියේ සාමාර්ථයක් සහිත ව ලබා ගැනීමට මෙ තුමා සමත් වි ය.

ඉන් පසු 1992 නැවතත් සිය රටට පැමිණෙන මෙ තුමා ආචාර්ය ඩබ්.එච්. විජයපාල මහතා යටතේ තවදුරටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ කටයුතු කරගෙන යනු ලබයි. 1994 දී හය මසක බංගලාදේශ ක්ෂේත‍්‍ර පුරාවිද්‍යා වැඩසටහනකට සහභාගී විම සඳහා නැවත වරක් මෙ තුමා විදේශගත වේ. මෙම කැනීම් බංගලාදේශයේ ‘‘ඔගස්ටාන්’’ ඵෙතිහාසික කැනීම් භූමියේ සිදු කරනු ලැබූ අතර එම කැනීම ප‍්‍රංශයේ සෝබෝන් විශ්වෙවිද්‍යාලයේ ඵෙතිහාසික පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය සැලී විසින් මෙහෙයවනු ලැබේ.

Prehistoric-Sri-Lanka-Late-Pleistocene-rockshelters-and-the-open-air-site-Dr.-Nimal-Perera
අාචාර්ය උපාධි නිබන්ධය අැසුරින් සැකසූ කෘතිය

මෙ සේ කටයුතු කරමින් සිටින අතර 2000 වසරේ දී මෙ තුමාගේ තනතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ තනතුරක් දක්වා උසස් කරනු ලැබී ය. ඉන් පසුව ඉදිරි කාල වකවානුවේ දී මෙ තුමාගේ පර්යේෂණ කටයුතුවල විශාල පිබිදීමක් සිදු වනු දක්නට ලැබී ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2003 වසරේ දී මෙ තුමා ඕස්ට්‍රෙලියානු ජාතික විශ්වවිද්‍යාලය (Australian National University) හි මහාචාර්ය කොලින් ග්‍රෑවුස් (Colin Grows) ඇතුළු කණ්ඩායම සමඟ එකතු වී ප‍්‍රාග් ඵෙතිහාසික පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කරන ලදී. එහි තේමාව වන්නේ ‘‘ඕස්ටේ‍්‍රලියාව ජනාවාස වීම පිළිබඳ ලංකාව මුල්කර ගත් දකුණු ආසියානු දායකත්වය’’ යන්නයි. මෙ සේ කටයුතු කරමින් සිටින අතර මෙ තුමාට ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රෙලියානු ජාතික විශ්වවිද්‍යාලය (Australian National University) මඟින් 2003 වසරේ ම ශිෂ්‍යත්වයක් හිමි වේ. මෙහි පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටින අතර මෙ තුමාට ඩේවිඩ් බුල්බෙක් (Deavid Bulbek) හමු වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස බෝනියෝ දූපත් වල පිහිටි (Nia) ගල්ලෙනකට පසුව දකුණු ආසියාවේ සිදු කරන ලද Thin Section හා Micro morphology පිළිබඳ කරන ලද පර්යේෂණය බටදොඹලෙන ආශ‍්‍රය කරගෙන ඉයන් සිම්සන් (Ian Simson)සමඟ එකතු වී සිදු කරන ලදී. ඒ මඟින් ලංකාවේ ප‍්‍රාග් ඵෙතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ නව මත ගණනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් හා එම මතය ලෝකය වෙතට ගෙන යාමේ දොරටුවත් විවෘත කිරීමට හැකි විය. ඒ අනුව එම පර්යේෂණයෙන් මීට වසර 45,000කට ප‍්‍රථම ලංකාවේ සිටි ප‍්‍රාග් ඵෙතිහාසික ජනයා බටපතුරු භාවිතයට ගත් බවට සාක්‍ෂි හෙළි කර ගැනීමට හැකියාව ලැබුණි. මෙ තුමා ඕස්ටේ‍්‍රල්යාවේ පර්යේෂණ සිදු කරමින් සිටින කාලයේ දී තවත් ඕස්ටේ‍්‍රලියානු පුරාවිද්‍යා පර්යේෂකයෙක් වන Johan Kamminga (Prehistory of Australia කෘතියේ කර්තෘ) ඇසුරු කිරීමටත් ඉන් පසු ඔහු හා පර්යේෂණවල නියැලීමටත් අවකාශ සැලසුනි. ඒ අනුව ඔහු සමඟ එකතු වී ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් ඕස්ටේ‍්‍රලියාව පුරා විසිරී ඇති ප‍්‍රාග් ඵෙතිහාසික ශිලා මෙවලම් පිළිබඳ පර්යේෂණයක් සිදු කරන ලදී. තව ද Aboriginals Studies නම් පර්යේෂණ ග‍්‍රන්ථයේ සමකතෘත්වය ද හිමි කර ගන්නා ලදී. මෙ සේ වසර 3කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු වලින් පසුව 2007 වසරේ දී A Review of prehistory of Sri Lanka නැමැති නිබන්ධන මාතෘකාව ඔස්සේ මෙ තුමා තම ආචාර්ය උපාධිය ලබා ගන්නා ලදී.

Batadombalena_Kuruvita_Sri Lanka_Prehistory
කුරුවිට බටදොඹලෙන

ඉන්පසු මෙ තුමා 2007 සිට මේ දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයා ලෙසත් 2008 සිට නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වැඩ බලන) ලෙසත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තම ශ‍්‍රමය හා ඥානය ලබා දෙමින් ලාංකේය පුරාවිද්‍යාව ලොවට ගෙන යාමට කටයුතු කරන ලදී. 2013.12.23 වන දින මෙ තුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රාජකාරී වශයෙන් සමුගන්නා නමුත් කොලඹ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (PGIAR) පරීක්‍ෂණ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරමින් තවදුටත් ලාංකික පුරාවිද්‍යා පර්යේෂකයන්ට තම පර්යේෂණ කාර්යයන් කරගෙන යාමේ නායකත්වයක් ඔවුන්ට නව මංපෙත් විවර කර දීමටත් සැදී පැහැදී සිටි.

සැහැල්ලු හා නිහතමානී ජීවිතයක් ගතකරන මෙම ලාංකික විද්වතා මෙම කුඩා දිවයිනට පමණක් නොව මුළු ලොවට ම ආලෝකයකි. කුමක් නිසා ද යත් 2011 මෙ තුමා විසින් රචනා කරන ලද People of the ancient rain forest anatomically modern late Pleistocene foragers of the Batadomba-Lena rock shelter, Sri Lanka, Journal of human evolution, Vol. 61 Issue 3, page 254–269 ලිපියට ලෝකයේ හොඳ ම ලේඛන 20 (Top 20) තෙ වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ නියැලී සිටින්නන්ටත් සියලු ශ්‍රී ලාංකිකයන්ටත් මෙවන් මිනිසුන් ක්ෂේත‍්‍රයෙන් ඉවත් වීම දුකක් වුවත් ඔහු විසින් සිදු කරන ලද කාර්යය දෙස නැවත හැරී බැලීමේ දී ලාංකිකයකු ලෙස නිහතමානී ව ආඩම්බර විය හැකි ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා ආචාර්ය නිමල් පෙරේරා වියතානනී, ඔබට තව තවත් ලාංකේය පුරාවිද්‍යාවේ මංපෙත් ලෝකයා වෙත ගෙන යාමට නිදුක් නීරෝගී බවත්, වාසනාව හා ශක්තියත් උදා වේවා!

ආචාර්ය නිමල් පෙරේරා ගේ පර්යේෂණ දායකත්වයන් (තෝරාගත්) 

  • 1982 – 1986 – Batadomba – Lena cave excavations, Mesolithic Habitation Site
  • 1983 – North – Western Coast exploration, Manthi to Jaffna
  • 1980 – 1984 – Manthi excavations, early and middle historical port (department of Archaeology in collaboration with the oriental institute, University of Chicago.
  • 1989 – 1990 – Citadel of Anuradhapura, proto historic to middle historic Site
  • 1994 – Bandarawela excavations, Mesolithic open air site
  • 1996 – Excavations of early historic clay cist graves at Attanagalla Katowawa in Gampaha District, Sri Lanka.
  • 1997 – Randenigama excavations, Terra cotta site
  • 1997 – Excavation of prehistoric shell midden site at pallemalala, Hambantota District, Sri Lanka.
  • 2005 – Kuruvita, Batadomba- Lena Cave excavations, Mesolithic
  • 2005 – Embilipitiya, Bellan bandi Palassa excavations, Mesolithic open air site

ප්‍රකාශන 

  • Prehistoric Sri Lanka, in the British archaeological report series (Oxford). It is the most important research publication on Sri Lankan archaeology during the last 10 years (2010)
  • Several peer-reviewed research papers in international journal of high repute. Dr. Perera is the only Sri Lankan Archaeologist to have achieved this distinction. Dr perera’s output in publications is, in term of quality, of ahead of any archaeologist of non-retirement age in Sri Lanka.

Selected publications

  • 2001 – Holy well at Jawaththa. Beitrage Lur Algemeimen and Vergleichenden Archaeological, Band 24. Germany.
  • 2002 – Early History Vlay- lined Cist Graves in Sri Lanka Indo Pacific Prehistory Association Congress; 9-15 September March at Academic Sinica, Taipei.
  • 2003 – Excavations of early historic clay cist graves at Attanagalla, Kalotuwawa in Gampaha District, Sri Lanka. (Unpublished), Colombo: Sri lanka Department of Archaeology.
  • 2006 – Late Pleistocene and early Holocene human occupation at the Batadomba – Lena rock shelter in Sri Lanka Indo- Pacific Prehistory Association Congress 20 – 26 March 2006 at Quezon City, Philippines.
  • 2006 – Bellan – bandi Palassa and “ Balangoda Man”. Eighteenth Indo- Indo- Pacific Prehistory Association Congress 20 – 26 March 2006 at Quezon City, Philippines.
  • 2007 – A Review of Prehistory of Sri Lanka, unpublished PhD thesis, Canberra: The Australian National University.
  • 2008 – Nikos Kourampas, Ian. A. Simpson, H. Nimal Perera Bellan- Bandi Palassa Sri Lanka Formation process of a terminal Pleistocene open area site identified through thin section micromorphology Archaeologia 4 – Journal of Archaeology University of Kelaniya.
  • 2008 – Before Vijaya: Rockshelter records of modern human settlement in late Pleistocene – Early Holocene Sri Lanka 6th World Archaeology Conference, Dublin.
  • 2008 – Matara Disawa ashrayakota gat Dakunu palathe pragitihasaya in Matara Vamsaya. Vol. I and II, 126 Colombo: Ministry of Cultural Affairs and National Heritage.
  • 2008 – Nikos Kourampas, Ian. A. Simpson, H. Nimal Perera & Siran U. Deraniyagala
  • Late Pleistocene hunter- gatherers in the South Asian rainforest: geoarchaeology of inhabited rockshelters in south – western Sri Lanka. Antiquity Vol 82 issue 316 December 2008
  • http://antiquity.ac,uk/projgall/kourampas/index.html
  • 2008 – Late Pleistocene Human Settlement in Batadomba – lena cave in Sri Lanka. Archaeological congress papers published in Department of Archaeology. Sri Lanka.
  • 2009 – Nikos Kourampas, Ian A. Simpson, Nimal Perera, Siran U. Deraniyagala, and W, H. Wijayapala, H.N, 2009 Rock shelter Sedimentation in a Dynamic Tropical Landscape: Late Pleistocene- Early Holocene Archaeological Deposits in Kithulgala Beli- lena Southwestern Sri Lanka; Geoarchaeology an international Journal Vol. 24 No. 6, page 688-714.
  • 2009 – Prehistoric Settlement of Sri Lanka; Journal of Indian Ocean Archaeology; Vol 3. An International Journal; India.
  • 2010 – 2010 Prehistoric Sri Lanka; Late Pleistocene Rockshelters and an Open Air Site. BAR International series 2142, Archaeopress, Oxford.
  • 2012 – Early Historical Clay Cist Graves at Kalotuwawa (Sri Lanka) Zeitschrift für Archäologie Außbereuropäischer Kulturen 3 (2010): 65 – 70 Band 3. Germany.
  • 2011 – Perea, H.N, et al., 2011 People of the ancient rainforest: anatomically modern late Pleistocene foragers at the Batadomba-lena rockshelter, Sri Lanka, Journal of Human Evolution, Vol. 61 Issue 3, Page 254-269
  • 2012 – Perera, H.N. et al., Geoarchaeology of Pleistocene Sites in Southern Sri lanka: Fahien – Rockshelter and Tool – bearing sediments of the Iranamadu Formation. Report to the Sri Lanka Department of Archaeology. University of Sterling, Sterling. (Ancient Ceylon Vol.22 in press)

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ගේ ශාස්ත්‍රීය කෘතියක් රාජ්‍ය ඇඟයීමට ලක් වේ

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක චමල් රාජපක්ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් 30 වැනි දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාණ උළෙලේ දී 2012 වසර සඳහා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් වූ විශිෂ්ට ම ශාස්ත‍්‍රීය කෘතියට හිමි රාජ්‍ය සම්මාණය හා විශිෂ්ට ම පොත් නිමාව සඳහා වූ රාජ්‍ය සම්මාණය යන සම්මාන දෙක දිනාගැනීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ගණයේ පුරාවිද්‍යා පර්යේෂකයෙකු හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වූ රාජ් සෝමදේව මහතා විසින් සම්පාදනය කරන ලද Rock Painting and Engraving Sites of Sri Lanka නම් වූ ශාස්ත‍්‍රීය කෘතිය සමත් වී ඇත.

rock_painting_and_engraving_sites_in_sri_lanka_prof_raj_somadewa
Rock Painting and Engraving Sites of Sri Lanka කෘතිය

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන අතුරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාණයට ලක් වූයේ කොළඹ 7 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (Postgraduate Institute of Archaeology – PGIAR) විසින් 2012 වසරේ ප‍්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය පමණී. එ බැවින් මෙය ලංකාවෙ උසස් අධ්‍යාපන ආයතනයක් ලැබූ ජයග්‍රහණයක් වශයෙන් ද හදුන්වා දිය හැකි ෙව්. මෙම කෘතිය සමඟ මහාචාර්ය ජේ. බි. දිසානායක මහතා විසින් රචනා කරන ලද කෘතියක් ඇතුළු තවත් කෘති දෙකක් මෙම සම්මාණය සඳහා අවසාන වශයෙන් නාම යෝජනා වී පැවතිණ. හොඳම පිටු නිර්මාණය (Layout) සඳහා වන සම්මාණය සඳහා ලංකාවේ ප‍්‍රශස්ත පොත් නිර්මාණකරුවෙක් වන මහාචාර්ය ඇල්බර්ට් ධර්මසිරි මහතා ගේ නම ද යෝජනා වී පැවතියත් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රමණි විතාන මහත්මිය විසින් පිටු සැකසීම සිදුකරන ලද මෙම කෘතිය ඒම සියලු නාමයෝජනා ඉක්මවා හොඳ ම පොත් නිර්මාණයට හිමි සම්මානය දිනාගන්නා ලදී.

rock_painting_and_engraving_sites_in_sri_lanka_prof_raj_somadeva_ramani_vithana_receiving_the_national_literacy_award_2013
මහාචාර්ය රාජ් සෝමදේව මහතා සම්මාණ ලබමින් (වම් රූපය) 2013 සාහිත්‍ය සම්මානය (මැද) රමණි විතාන මහත්මිය සම්මාණ ලබමින් (දකුණු රූපය)

මෙම කෘතිය රාජ්‍ය සම්මාණයට පත් වීම අරමුණු කොට ගනිමින් archaeology.lk කණ්ඩායම මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමඟ සිදුකළ කෙටි සාකච්ඡාව පහත දැක් වේ.

archaeology.lk : රාජ්‍ය සම්මාණයට ලක් වූ Rock Painting and Engraving Sites of Sri Lanka කෘතිය පිළිබඳ ව කෙටි හැඳින්වීමක් සිදු කරන්න පුළුවන් ද?

මහාචාර්ය රාජ් සෝමදේව : ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ව්‍යාප්ත වී ඇති පර්වත සිතුවම් සම්බන්ධයෙන් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී ඇති එක ම කෘතිය වන්නේ මෙම කෘතියයි. සංස්කෘතික හා කලා කටයුතු දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන තුනක පමණ මුදලක් මෙම කෘතිය සඳහා අවැසි පර්යේෂණ හා කෘතියේ ප්‍රකාශනය සඳහා ලබා දුන් බව මම මේ අවස්ථාවේ කෘතවේදී ව සඳහන් කළ යුතු යි. අපි මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා වසර දෙකකට ආසන්න කාලයක් වැය කළා. ලංකාවේ පවතින ප්‍රාථමික ශෛලියේ පර්වත සිතුවම් සම්බන්ධයෙන් මින් මතු අධ්‍යයන සිදුකරන ඕනෑම අයෙකුට ඒ සඳහා ඇති ප්‍රධාන ම මූලාශ‍්‍රය වන්නේ මෙම කෘතියයි. මීට පෙර මෙම විෂය සම්බන්ධයෙන් විවිධ ලිපිලේඛන ප‍්‍රකාශයට පත් වී පැවතියත් මෙම කෘතිය මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වී ඇති ප්‍රාමාණික කෘතිය වශයෙන් ද හඳුන්වා දිය හැකි ය.

ශ‍්‍රි ලංකාව තුළ පර්වත සිතුවම් සහිත ස්ථාන 50කට වැඩි ප‍්‍රමාණක් වාර්තාගත වී පවතිනවා. මෙම කෘතිය සඳහා ඒවා අතුරින් 24ක් නියැදියක් වශයෙන් ගෙන ඒ පිළබඳ සවිස්තරාත්මක අවධානයක් සිදුකර ඇත. මෙම කෘතියේ දී රූප ඇඳීමේ කලාව පමණක් නොව එහි දිනවකවානු හඳුනාගැනීම සම්බන්ධයෙන් වුවත් භව්‍යතාවක් ඇති ක‍්‍රමවේදයක් යොජනා කර ඇත. ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල මහතා විසින් වරකාපොල දොරවකකන්ද ඇතාබැඳි ලෙන ගුහාවේ කැනීම් මඟින් තහවුරු කොට ඇති දිනවකවානු සාපේක්‍ෂ ව ගෙන එම රූප ඇඳීමේ කලාවට යම් ආකාරයක දින වකවානු යෝජනා කර ඇත. ඒ අනුව ලංකාවේ මෙම විෂය සම්බන්ධයෙන් නොයිඳුල් අධ්‍යයනයක් ලෙස මෙම කෘතිය හඳින්වා දිය හැකි යි.

archaeology.lk : ඔබතුමා විසින් දැනට වසර ගණනාවක් තිස්සේ උඩවලව නිම්ණයේ සිදුකරන පර්යේෂණ හා ලංකාවේ මානවයාගේ සංස්කෘතික සංක්‍රාන්තිය පිළිබඳ ව සිදුකරන පර්යේෂණ මාලාව සමඟ මෙම කෘතියේ අන්තර්ගතය යම්කිසි සම්බන්ධතාවක් දක්වනවා ද?

මහාචාර්ය රාජ් සෝමදේව : අප විසින් දැනට වසර ගණනාවත් තිස්සේ සිදුකරන පෘථුල පර්යේෂණ ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් වශයෙන්, දඩයක්කරුවන් ගේ සංක‍්‍රාන්තිය නම් ව්‍යාපෘතිය දියත් වෙනවා. Rock Painting and Engraving Sites of Sri Lanka කෘතියත් එම පර්යේෂණයට ම අදාළ ව, දඩයක්කරුවන් සංක‍්‍රාන්තියට පත් වුනාට පසු ඔවුන් ගේ ප‍්‍රජාණන (cognitive) වර්ධනය වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව සාකච්ඡා කරන කෘතියක්. අපි මේ වසරේ හල්දුම්මුල්ල, හුණුගලාගල පුරාවිද්‍යා කැනීමෙන් ලබාගත් අඟුරු සාම්පල කාලනීර්ණය සඳහා පර්යේෂණාගාර වෙත යොමුකර තියෙනවා. අපි ඒ සම්බන්ධ ව විශේෂ ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මේ සෑම දෙයක් ම එකිනෙකට තදානුබද්ධ වූ පර්යේෂණ වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපිට අවසානයේ මේ සියල්ල ම සමෝධානය කිරීමට හැකියාව ලැබෙයි. මෙහි මූලික අරමුණ ලංකාවේ ශිෂ්ටාචාරික ප‍්‍රවර්ධනය ආරම්භ වුයේ කුමන ආකාරයකට, කුමන කාලයේ, කුමන හේතු නිසාද යන්න ප‍්‍රශ්න කරන එකයි. එ බැවින් මෙයත් එයට ම තදානුබද්ධ ව, සංක‍්‍රාන්තික දඩයක්කරුවන් ගේ ප‍්‍රජානන ඉතිහාසය හා ප‍්‍රජානන පරිණාමය පිළිබඳ ව අවධානය යොමු වෙලා තියෙනවා.

archaeology.lk : ජාත්‍යන්තර වශයෙන් හා ඉන්දියාවේ මෙවැනි පර්වත සිතුවම් පිළිබඳ ව සිදුකොට ඇති අධ්‍යයන සමඟ සංසන්දනය කොට බැලීමේ දී ඔබතුමා විසින් රචිත මෙම කෘතිය හිමිකර ගන්නා ස්ථානය කුමක් ද?

මහාචාර්ය රාජ් සෝමදේව : මේ සම්බන්ධයෙන් මම උපුටා දක්වන්න කැමතියි මහාචාර්ය සේනක බණ්ඩාරනායක මෙම කෘතියේ දොරට වැඩුමේ දි ලියා එවනු ලැබූ පාඨය. එ තුමා එහි එක් අවස්ථාවක ලියා තැබුවා, ඔබ ගේ කෘතිය (Rock Painting and Engraving Sites of Sri Lanka) ශ‍්‍රී ලංකාවේ පර්වත චිත‍්‍ර සම්ප‍්‍රදාය ලෝක සිතියමට ඇතුළත් කළැයි කියන කාරණය. එය ප‍්‍රාමාණික උගතෙකුගේ ඇගයීමක්. මම ස්වයං ඇඟයීමක් සිදුකරනවාට වඩා ලෝකයේ අද්දැකීම් සම්භාරයක් ඇති ඒ මහාචාර්යවරයා සිදුකරන ප‍්‍රකාශය මගින් මේ කෘතිය හිමිකරගෙන ඇති ස්ථානය පිළිබඳ අදහසක් ඇතිකර ගන්න පුළුවන්.

archaeology.lk : මෙම කෘතිය රාජ්‍ය සම්මාණයට පාත‍්‍රවීම ඔබ තුමා දකින්නේ කොහොම ද?

මහාචාර්ය රාජ් සෝමදේව : මෙම කෘතිය වශයෙන් ගන්නවාට වඩා, සමස්තාර්ථ වශයෙන් ගතහොත් පුරාවිද්‍යාත්මක වශයෙන් හෝ වේවා වෙන විෂයක හො වේවා යම්කිසි නොයිඳුල් දැනුමක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල ශ‍්‍රමයක් කැපකරන්න වෙනවා. එ පමණක් නොව බුද්ධිමය වශයෙන් ද විශාල ශ‍්‍රමයක් හා කාලයක් කැපකරන්න වෙනවා. මම කියන්නේ නැහැ මගේ කෘතිය අතිවිශාල ශාස්ත‍්‍රීය කෘතියක් කියල. නමුත් දැන් මට දැනෙනවා, එම කෘතිය ජාතික මට්ටමෙන් ඇඟයීමට ලක් වී ඇති නිසා එය ජාතික මට්ටමේ තියෙනවා කියල. ඒ වගේ ම මෙම පර්යේෂණය කරන අතරතුර ඉන්දියාවේ ප්‍රකාශයට පත් වූ පොත් හා ලිපි අපි හැඳෑරුවා. මම හිතනවා එවා පවතින මට්ටමට වැඩිය දකුණු ආසියාතික මට්ටමට මේ කෘතිය ගෙනල්ල තියෙනවා කියලා. අපිට තවදුරටත් විද්‍යාත්මක ක‍්‍රම ආදේශ කරගන්න තිබුණ නම්, මේ කෘතිය ජාත්‍යන්තර මට්ටමට ගෙන්න තිබුනා. අපි ඉදිරියේ දී ඒ මට්ටමට යමක් කරන්න උත්සාහ කරනවා.

archaeology.lk : ප‍්‍රමුඛ අවධානය ලක් නොවන විෂය ක්ෂේත‍්‍රයක් වන පුරාවිද්‍යාව විෂයට අයත් කෘතියක් ජාතික මට්ටමෙන් විශිෂ්ට ම ශාස්ත‍්‍රීය කෘතිය බවට පත් කිරීමට ඔබ තුමා සමත් වී තියෙනවා. මේ කාරණය මෙම කෘතියේ කතුවරයා කියන තැන ඉක්මවා ගොස්, වෘත්තීය පුරාවිද්‍යාඥයෙක් වශයෙන් ඔබතුමා දකින්නේ කෙ සේ ද?

මහාචාර්ය රාජ් සෝමදේව : මෙම සම්මාණයට පාත‍්‍රවීම අපේ පෞද්ගලික ජයග‍්‍රහණයක් පමණක් විදිහට නෙවෙයි මා දකින්නේ, අපි විසින් සිදුකළ යුතු, වෘතිතිකයින් වශයෙන් විෂය වෙනුවෙන් කළයුතු කාර්යභාරයක් ලෙසටයි. ලංකාවේ සිටින සියලූ ම තරුණ පරම්පරාවේ පුරාවිද්‍යාඥයින් මෙය ආදර්ශයක් වශයෙන් ගත යුතුය කියලයි මා තවදුරටත් හිතන්නේ. තමන් ගේ විෂය මේ වගේ ජාතික මට්ටමේ සම්මාණ වලට ලක්වීමෙන් සිදුවන්නේ අපේ වෘත්තීයභාවය ඉහළ යාම. මේ අවස්ථාවේ මම සඳහක් කරන්න කැමතියි තවත් කාරණයක්. පසුගිය දා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නම්කරනු ලැබුවා ජාතික පර්යේෂණ කවුන්සිලයට (National Research Council) සාමාජිකයින්. එය සිදුකරන්නේ ගැසට් පත‍්‍රිකාවක් මඟින්. එයට සාමාජිකයින් 16 දෙනෙකු නම්කර තියෙනවා. එයින් 14 දෙනෙක් වෛද්‍ය වෘත්තිකයින් වන මහාචාර්යවරුන් හා 1 අයෙක් ඉංජිනේරු, පරිගණක අංශය නියෝජනය කරන අතර සමාජ විදයා නියෝජනය කිරීම සඳහා නම්කර ඇත්තේ එක් නමක් පමණයි. ඒ මහාචාර්ය රජ් සෝමදේව කියන නම. ඒ අනුව ලංකාවේ පවතින සමාජවිද්‍යා රාෂිය අතුරින් පුරාවිද්‍යාඥයෙක් ජාතික පර්යේෂණ කවුන්සිලය නියෝජනය කිරීම වැදගත් දෙයක්. මෙයත් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය ලැබූ ජයග‍්‍රහණයක් වශයෙන් පෙන්වා දෙන්න මම කැමතියි. මෙ තැන දී ඇත්තට ම සමාජ විද්‍යාවන් අතර පුරාවිද්‍යාවට ස්වාභාවික විද්‍යාවන් සමඟ කරටකර සිටිමට හැකි වෙලා තියෙනවා.

archaeology.lk කණ්ඩායම වශයෙන් අපි, මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හා රමණි විතාන මහත්මියට

සුභ පැතුම් මේ සමඟ එක් කරන්නෙමු.

ප්‍රකාශන උද්ධරණයේ දී යොදා ගන්නා ක්‍රම 1 : හාවර්ඩ් උද්ධරණ ක්‍රමය පිළිබඳ හැඳින්වීමක්

Reference methods in Academic writing – 1 Harvard Reference System

නිබන්ධනයක් හෝ ග්‍රන්ථයක් සම්පාදනයේ දී තමන්ගේ මත තහවුරු කිරීමට හෝ තමන්ගේ මත ගොඩනගා ගැනීමට වෙනත් ප්‍රකාශනවලින් කරුණු ඉදිරිපත් කරයි. ශාස්ත්‍රීය ප්‍රකාශනයක් සම්පාදනයේ දී පෙළෙහි (in-text) තමා පරිශීලනය කරන ලද තොරතුරු මූලාශ්‍ර කවරක් දැයි යන්න දැක්වීම අත්‍යවශ්‍ය කරුණකි. එ සේ නොකිරීම අන්‍යයන් ගේ අදහස් සොරාගැනීමක් (Plagiarism) ලෙස සැලකේ.

මෙ ලෙස තමා භාවිත කරන ලද තොරතුරු මූලාශ්‍ර පිළිබඳ විස්තර උද්ධරණය මගින් එම තොරතුරු ලබාගන්නා ලද ප්‍රකාශනයට/ග්‍රන්ථයට/එහි සම්පාදිතට ගරු කිරීමක් (acknowledgment) සිදු වේ. එ සේ ම මේ මගින් පාඨකයෙකුට එම තොරතුරු මූලාශ්‍ර කරා යාමට ඉඩ සැලසේ.

තොරතුරු මූලාශ්‍ර උද්ධරණය සිදුවන අවස්ථා,

තම නිබන්ධනයට අදාල සංඛ්‍යා ලේඛන, වගු, රූප‍, ආකෘති ආදිය උපුටා දක්වන විට
යම් පරීක්ෂකයකු ගේ ආකෘතියක්, නිගමනයක්, මොඩලයක් පිළිබඳ ව විස්තර කිරීමේ දී/ සාකච්ඡා කිරීමේ දී
තමන් ගේ මතයක් තහවුරු කිරීමට හෝ තමන් ගේ මතයක නිවැරදිභාවය ඔප්පු කිරීමේ දී
තවෙකකුගේ මතයකට විරුද්ධ මතයක් ඉදිරිපත් කිරීමේ දී
අර්ථ දැක්වීම් සහ උපුටා දැක්වීමේ දී
නව කරුණු විස්තරාත්මකව දැක්වීමේ දී
ප්‍රකාශන උද්ධරණය සඳහා අනුගමනය කරනු ලබන ක්‍රම ගණනාවක් පවතින නමුත් සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක අධ්‍යයනයන්හි දී සුලභ ව භාවිත කරනු ලබන්නේ හාර්වර්ඩ් උද්ධරණ ක්‍රමයයි. එ බැවින් මෙය ලොව වඩාත් ප්‍රචලිත උද්ධරණ ක්‍රමය ලෙස ද සැලකිය හැක.

හාර්වර්ඩ් උද්ධරණ ක්‍රමය (Harvard Reference System)

කර්තෘ දින ක්‍රමය ලෙස ද හැඳින් වේ. එ ලෙස හඳුන්වෙන්නේ කර්තෘ නාමයට හා ප්‍රකාශන වර්ෂයට මූලිකත්වය දී ඇති බැවිනි. කර්තෘ නාමය හා ප්‍රකාශිත වසර නිබන්ධන පෙළෙහි (in-text) වරහන් තුළ සටහන් කරයි. තොරතුරු ලබාගත් ස්ථානය නිශ්චිත ලෙසට දැක්වීමට අවශ්‍ය විට පිටු අංකය ද දක්වයි. නිබන්ධන පෙළෙහි කෙටියෙන් දක්වන මෙම උද්ධරණයන්ට අදාල සම්පූර්ණ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථ නාමාවලියක් අදාල පරිච්ඡේදය අවසානයේ හෝ නිබන්ධනය අවසානයේ අකාරාදි පිළිවෙලට දැක්විය යුතු ය.

නිබන්ධන පෙළෙහි තමා ප්‍රයෝජනයට ගත් තොරතුරු මූලාශ්‍ර උද්ධරණය (in-text Reference)

නිබන්ධන පෙළෙහි තොරතුරු සම්පාදනයේ දී වෙනත් අයකු ගේ තොරතුරු මූලාශ්‍රයක් භාවිත කළ සෑම අවස්ථාවක ම අදාල තොරතුර ආශ්‍රිත ව කර්තෘ ගේ නම හා ප්‍රකාශිත වසරත්, තොරතුර ඇතුළත් පිටු අංකයත් වරහන් තුළ දැක්වීමයි. පෙළෙහි උද්ධරණයේ දී කතුවරයාට ප්‍රමුඛතාව දීම හෝ තොරතුරු වලට ප්‍රමුඛතාව දිම කළ හැකි ය.

කතුවරයාට ප්‍රමුඛතාවය දීම,

උදා: As Brick (2006, p. 14) argues, “most of the writing at university is likely to involve presenting a position”

තොරතුරු වලට ප්‍රමුඛතාව දීම,

උදා: Academic autonomy involves “mastering the specific skills involved in analysis, critical thinking and problem solving” (Brick 2006, p. 52).

නිබන්ධන පෙළ ඇතුළත උද්ධරණය කිහිප ආකාරයකට කළ හැකි ය.

1. තවත් කෙනෙකු ගේ තොරතුරු තමා ගේ වචන හෝ වක්‍ය ඛණ්ඩ භාවිතයෙන් වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීම. (Paraphrasing)

උදා: Increasing obesity levels in the United States grew from a food consumption culture that was boundary-free (Critser 2003), …

2. තමා ප්‍රයෝජනයට ගන්නා මූලාශ්‍රයක තොරතුරු එහි සඳහන් කර ඇති ආකාරයට ම වචන, වාක්‍ය ඛණ්ඩ ගෙන හැර පෑම. (Quoting)

යමෙකු විසින් සඳහන් කර ඇති කරුණක් ඒ අයුරින් ම තම නිබන්ධනයට ඇතුළු කෙරේ. වචන 20ක ට හෝ ඊට අඩු උපුටා ගැනීමක් උද්ධෘත පාඨ ඇතුළත නිබන්ධන පෙළෙහි දැක්විය හැකි ය.

උදා: The rise in obesity grew from a “boundary-free culture of American food consumption” (Critser 2003, p.31), …

දිගු උපුටා ගැනීමක් නම් එ නම් එක් වාක්‍යකට වැඩි ප්‍රමාණයක් ඒ අයුරින් ම දැක්වීමට අවශ්‍ය වූවහොත් උද්ධෘත පාඨයක් ලෙස දැක්විය නොහැක. නව පෙළකින් පටන්ගෙන මදක් වම් මායිමෙන් ටැබ් යෙදීම මගින් ඉවතට ගෙන පැහැදිලි ව ඉදිරිපත් කළ යුතු ය. එම කොටසේ අකුරු පෙළෙහි අකුරුවලට වඩා කුඩා විය යුතු අතර තොරතුරු මූලාශ්‍රය වරහන් තුළ දකුණු කෙළවරින් සටහන් කළ යුතු ය‍.

උදා: Nowhere did this new boundary-free culture of American food consumption thrive better than in the traditional American family, which by the ’80s was undergoing rapid change.

(Critser 2003, p.31)

3. සාරාංශගත කිරීම. ( Summarizing)

යම් තොරතුරු මූලාශ්‍රයක් ඇසුරු කර තමා එම සමස්ත කෘතියෙන් ම හෝ පරිච්ඡේදයෙන් ම ලබා ගන්නා ලද අදහස සාරාංශයක් ලෙස ඉදිරිපත් කරයි.

In a popular study, Critser (2003) argues that our culture is now without boundaries…

වඩාත් සුලභ ව භාවිත කරන ක්‍රමය යම් අදහසක් තම වචනයෙන් ලිවීමයි. යමක් ඒ අයුරින් ම දැක්වීම සිදුවිය යුත්තේ එම කරුණ තම වචනවලින් පැවසූ විට එහි අර්ථය අඩු වීමක් එ සේ නැතහොත් එම පණිවිඩයේ ප්‍රබලතාවේ අඩුවීමක් සිදු වේ නම් පමණි. එ සේ ම යම් පුද්ගලයකු කිසියම් විෂය ක්ෂේත්‍රයක ගුරු තනතුරේ ලා සලකන අවස්ථාවන්හි දී ඔහු ගේ/ඇය ගේ කෘතීන් හි කරුණු උද්ධරණයේ දී උපුටා දැක්වීම කරයි.

කිනම් උද්ධරණ ක්‍රමයක් භාවිත කළ ද වැදගත් කරුණ වන්නේ එය නිබන්ධනය පුරා ම එක ම ආකෘතියකට භාවිත කිරීමයි. (consistency) පරිච්ඡේදයක එක් අවස්ථාවකට වැඩියෙන් එක ම මූලාශ්‍රයක තොරතුරු සඳහන් වන විට දී ඒ සෑම අවස්ථාවක ම පෙළෙහි උද්ධරණයද (In-text reference) තිබිය යුතුයි.

පෙළෙහි උද්ධරණයේ දී (In-text reference) වැදගත් වන ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

කර්තෘ නාමය
ප්‍රකාශිත වසර
පිටු ගණන
කර්තෘ නාමය – කර්තෘවරයෙක් යනු කිසියම් කෘතියක බුද්ධිමය හෝ කලාත්මක අන්තර්ගතයේ නිර්මාණය සම්බන්ධ ව වගකිව යුතු වන්නා ය.

කර්තෘත්වය දරන්නේ පුද්ගලයකු නම් එම පුද්ගලයාගේ නමේ වාසගම පෙළෙහි උද්ධරණයේදී යොදා ගනී. නමුත් රටවල සම්මත ව්‍යවහාරයන් අනුව වෙනස් වන අවස්ථා ද තිබිය හැකි ය. පෙළෙහි උද්ධරණයේ දී නමක මුලකුරු යොදා නොගැනීම විශේෂ කරුණකි.

උදා: (Deraniyagala 2010, p.105)

ඒ අනුව කතුවරු තිදෙනකු දක්වා ඔවුන්ගේ නම් යටතේ උද්ධරණය කිරීමට ඉඩ සලසා ඇත. ඊට වැඩි වන අවස්ථාවක දී මුල් කතුවරයාගේ නම සඳහන් කර තවත් කතුවරුන් ඊට සම්බන්ධ වී ඇත බව දැනවීමට ‘වෙනත් අය’ යන පදය යොදයි. මෙය ඉංග්‍රීසියේදී et al. ලෙස යොදයි.

කතුවරයකු නොමැති අවස්ථාවක දී සංස්කාරකවරයකු /සම්පාදකවරයකු ඇත්නම් ඔවුන්ගේ නම යටතේ උද්ධරණය සිදු වේ. මෙහි දී සංස්. හා ed., eds. යන හැකුළුම් පද යොදා ගනී. පරිවර්තනයක දී කතුවරයා ලෙස ගැනෙන්නේ එහි මුල් කෘතියේ කතුවරයාවයි. කතුවරයකු නොමැති හෝ කතුවරයාගේ නම අවිනිශ්චිත වන අවස්ථාවක එම ග්‍රන්ථයේ ග්‍රන්ථ නාමය උද්ධරණය කරයි.

ආයතනයක් යම් කෘතියක බුද්ධිමය හෝ කලාත්මක අන්තර්ගතයට වගකියන්නේ නම් එය ආයතන නාමය යටතේ උද්ධරණය කරයි.‍ ආයතන නාම කිනම් භූගෝලීය ප්‍රදේශයක වුව ද සමාන ස්වරූපයක් ගන්නා නිසා ඒවා වෙන් වශයෙන් හඳුනා ගැනීමට අපහසු විය හැකි ය‍. එ බැවින් ආයතන නාමයට ඉදිරියෙන් එය පිහිටා ඇති භූගෝලීය ‍ප්‍රදේශය දැක්වීම වඩා යෝග්‍යය.

උදා ශ්‍රී ලංකාව. ආරක්ෂක අමාත්‍යාංශය / ඉන්දියාව. ආරක්ෂක අමාත්‍යාංශය

මෙය අනුගමනය කළ යුත්තේ ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමේ දි ය . පෙළෙහි උද්ධරණයේ දී ආයතන නාමය පමණක් සටහන් කරයි.

උදා: (ආරක්ෂක අමාත්‍යාංශය, 2001, පි. 13) යන පෙළ උද්ධරණයට අදාල ග්‍රන්ථ නාමාවලි යෙදුම විය යුත්තේ,

ශ්‍රී ලංකාව. ආරක්ෂක අමාත්‍යාංශය (2001) ……… ලෙසයි

ප්‍රකාශිත වසර – ප්‍රකාශිත වසර යනු එම කෘතියේ තමා පරිශීලනය කරන ලද සංස්කරණයේ වසරයි. මෙහි දී නැවත මුද්‍රණයක් නම් එහි නැවත මුද්‍රිත දිනය ප්‍රකාශිත වසර ලෙස නොසලකයි. එම මුද්‍රණයට අදාල සංස්කරණයේ වර්ෂය යොදා ගත යුතු ය‍.

උදා: කෘතියක දෙවන සංස්කරණය වසර 1975 ලෙස ද එහි පස්වන මුද්‍රණය 2001 ලෙස ද සටහන් වී ඇත්නම් එහි ප්‍රකාශිත වසර ලෙස සලකන්නේ 2001 නොව 1975 යි. සාමාන්‍යයෙන් කෘතියක ප්‍රකාශිත වසර සටහන් ව ඇත්තේ ග්‍රන්ථ නාම පිටුවේ අනෙක් පස ය. (verso of the title page)

වෙබ් පිටුවක නම් එහි හෝම් පේජ් හි (Home page) යට ම කෙලවරින් ප්‍රකාශිත වසර සොයා ගත හැක. එ සේ සොයා ගත නොහැකි නම් එබවුට් (about) යන ලින්ක් එක හරහා ගොස් එම වෙබ් පිටුව පිළිබඳ තොරතුරු සොයාගත හැකි ය.

දිනයක් සොයා ගත නොහැකි අවස්ථාවක දිනයක් නොමැති (No date) බව හැකුළුම් පද භාවිතයෙන් සටහන් කරයි. (දි.නැ. / n.d)

පිටු අංකය – තොරතුරු ලබාගත් ස්ථානය නිශ්චිත ව දැක්වීමට පිටු අංකය යොදයි. තොරතුරු මූලාශ්‍රයකට පිටු අංකයක් නොමැති විටෙක (උදා: සමහර ඉලෙක්ට්‍රොනික් පොත් (E-books), නීති ව්‍යවස්ථා, යූ ටියුබ් වීඩියෝ, සමහර වෙබ් පිටු) එහි කාණ්ඩ අංකය (section numbers) භාවිත කළ හැකි ය. මෙහි දී සිංහලෙන් නම් කාණ්ඩ අංකය කා. ලෙස ද ඉංග්‍රීසියෙන් නම් s. ලෙස ද හැකුළුම් පද භාවිත කරයි.

තමන් භාවිත කරනු ලැබූ මූලාශ්‍ර අකාරාදි පිළිවෙලට සකස් කරන ලද ලැයිස්තුවක් ලෙස නිබන්ධනය, පර්ච්ඡේද, කාණ්ඩ අවසානයේ දැක්විය යුතු ය. මෙය ආශ්‍රිත ග්‍රන්ථ (Reference list) හෝ ග්‍රන්ථ නාමාවලිය (Bibliography) විය හැකි ය.

ආශ්‍රිත ග්‍රන්ථ ලැයිස්තුව යනු තමාගේ නිබන්ධනය සම්පාදනයේ දී ඍජුව ම භාවිත කරන ලද සියලු ම මූලාශ්‍රයන් ගේ ලේඛනයකි. ග්‍රන්ථ නාමාවලියට මීට අමතර ව තමා නිබන්ධනය සම්පාදනයේ දී පරිශීලනය කරන ලද නමුත් ඍජු ව නිබන්ධනය සැකසීම සඳහා කරුණු උපුටා නොගන්නා ලද කෘති ද ඇතුළු වේ.

විශේෂ අවස්ථා

1. ද්විතියික මූලාශ්‍ර උද්ධරණය – අන් කතුවරයකු විසින් කියවා උද්ධරණය කර ඇති කෘතියක් උද්ධරණය

යම් කෘතියක් තමා විසින් කියවා නොමැති වුවත් තවත් කතුවරයකු සඳහන් කර ඇති කරුණු වලින් හඳුනාගත හැකි ය. මෙහි දී එම මුල් කෘතිය උද්ධරණය කිරීමට අවශ්‍ය බව හැගී යන්නේ නම් එහි දී එම මුල් කෘතිය සමග එය සඳහන් ව ඇති ද්විතීයික මූලාශ්‍රය ද උද්ධරණය වැදගත් ය. එ සේ වන්නේ තමා ගේ ඇසට ගැටුනේ ද්විතියික මූලාශ්‍රය පමණක් වන බැවිනි. මෙහි දී පෙළෙහි උද්ධරණය පහත පරිදි විය යුතු ය.

උදා: Smith 1990 (cited in Buckroyd 1996) or (Smith, cited in Buckroyd 1996)

ග්‍රන්ථ නාමාලවලියේ ඇතුළු කළ යුත්තේ තමා පරිශීලනය කළ ග්‍රන්ථය පමණි. එ නම්

Buckroyd, J. (1996) Eating Your Heart Out: Understanding and Overcoming Eating Disorders,

2nd ed., Vermilion,London.

2. එක ම කතුවරයකු විසින් විවිධ වර්ෂවල රචනා කරන ලද කෘති කීපයක් උද්ධරණය

තම අදහසක් සනාථ කිරීම සඳහා එකම කතුවරයකු විසින් රචනා කරන ලද විවිධ වර්ෂ වලට අයත් කෘතින් කිහිපයක් එකවිට යොදා ගත යුතු අවස්ථා තිබිය හැක. මෙහි දී කතුවරයාගේ නමට පිටුපසින් පැරණි ම වසර මුලින් ම එන ලෙස එම කෘති පළ කරන ලද වර්ෂ පෙළ ගැස්විය යුතු ය.

උදා : (දැරණියගල, එස්.යූ. 1999‍, 2000)

3. එක ම කතුවරයකු විසින් එක ම වසර තුළ දී ලියන ලද විවිධ කෘති උද්ධරණය

එකම කතුවරයා ගේ එක ම වර්ෂය තුළ ලියන ලද කෘති කිහිපයක් උද්ධරණය කළ යුතු වූ විට ප්‍රකාශිත වසරට පිටුපසින් කුඩා අකුරින් සිංහලයෙන් නම් අ‍, ආ ලෙස ද ඉංග්‍රීසියෙන් නම් a,b ලෙස ද සටහන් කරයි. මෙ මගින් එක ම වසරේ පළවූ කෘති වෙන් කර දැක් වේ.

උදා: (දැරණියගල, එස්.යූ. 1999‍ අ), (දැරණියගල, එස්.යූ. 1999‍් ආ) කෘති දෙක ම එකම තැනකදී උද්ධරණය අවශ්‍ය වූ විට (දැරණියගල, එස්.යූ. 1999‍් අ, ආ)

මෙම උද්ධරණයන්ට අදාළ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු අවසානයේ ඇති ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියේ සටහන් කරයි.

4. එක් කතුවරයකුගේ කෘතියක් වරක් උද්ධරණයෙන් පසු ඒ සමගම නැවත වතාවක් උද්ධරණය කිරීමට අවශ්‍ය වූ විට එහි ම ලෙස සඳහන් කර පිටු අංකය යෙදිය හැක.

උදා: (එහිම, පි. 105) මෙය ඉංග්‍රීසියෙන් (ibid, p.105) සඳහන් කරයි.

5. කතුවරු දෙදෙනෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කෘති එක විට උද්ධරණය

තම මතයක් තහවුරු කිරීම සඳහා කතුවරු කිහිප දෙනෙකුගේ හෝ දෙදෙනකුගේ කෘති එකවර උද්ධරණය දැක්වෙන උදාහරණයක් පහත දැක් වේ.

උදා: කුලරත්න (2000) සහ ගාල්ලගේ (2001) දක්වන පරදි ශ්‍රී ලංකාවේ දැනට පවත්නා බරපතල ම ප්‍රශ්නය වන්නේ කැළි කසල මනා ලෙස කලමනාකරණය නොකිරීමයි.

මෙය ම – ශ්‍රී ලංකාවේ දැනට පවත්නා බරපතල ම ප්‍රශ්නය වන්නේ කැළි කසල මනා ලෙස කලමනාකරණය නොකිරීමයි. (කුලරත්න 2000, ගාල්ලගේ 2001) ලෙස ද සඳහන් කළ හැකි ය.

6. ආගමික හෝ පූජනීය ග්‍රන්ථ වල කරුණු උද්ධරණයේ දී

එම ග්‍රන්ථයේ නමත් ඊට අදාල පරිච්ඡේද වල අංකත් පෙළෙහි වරහන් තුළ දක්වයි. උදා: (Heb. 13:8), (මහාව: 10:1) . සාමාන්‍යයෙන් මෙම ග්‍රන්ථවල සම්ර්‍පූර්ණ තොරතුරු ග්‍රන්ථ නාමාවලියේ දක්වන්නේ නැත. එම තොරතුරු මූලාශ්‍ර පිළිබඳව වෙන ම සඳහන් කිරීම යෝග්‍යයයි.

පෙළෙහි හා ග්‍රන්ථ නාමාවලියේ දි යොදා ගන්නා හැකුළුම් පද කිහිපයක් පහත පරිදිය.

ch. or chap. chapter පරි.

ed. edition සංස්.

et al. and others වෙනත් අය

n.d. no date දි.නැ.

p. Page (single) පි.

ආශ්‍රිත ග්‍රන්ථ හෝ ග්‍රන්ථ නාමාවලියේ දැක්විය යුතු වැදගත් ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

ග්‍රන්ථ සඳහා ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. එක් කතුවරයකු සහිත කෘතියක්

කර්තෘගේ නම, මුලකුරු (ප්‍රකාශිත වසර). ග්‍රන්ථ නාමය, සංස්කරණය (පළමු සංස්කරණය නොවේ නම්), ප්‍රකාශිත ස්ථානය, ප්‍රකාශක

උදා: Clarke, A. (2008). E- Learning skills, Palgrave Macmillan, Basingstoke

පොතෙහි නම ඇල අකුරින් දක්වා ඇත.

2. කතුවරු තිදෙනකු සහිත කෘතියක්

කර්තෘන්ගේ නම්, මුලකුරු (ප්‍රකාශිත වසර). ග්‍රන්ථ නාමය, සංස්කරණය (පළමු සංස්කරණය නොවේනම්), ප්‍රකාශිත ස්ථානය, ප්‍රකාශක

උදා: Abegg, M. J., Flint, P. and Ulrich, E. (1999) The Dead Sea Scrolls Bible: the oldest known Bible, Harper,San Francisco

3. කතුවරු ති දෙනකුට වඩා වැඩි අවස්ථාවක

ග්‍රන්ථ නාමාවලියේ සඳහන් කරන විට ක්‍රම දෙකක් අනුගමනය කල හැක. පළමු ක්‍රමය නම් කතුවරු සියල්ලන්ගේ ම නම් කෘතියේ සඳහන් පරිදි ම සටහන් කිරීමයි. අනෙක් ක්‍රමය වන්නේ පළමු කතුවරයාගේ නම සමග – සහ වෙනත් අය – යන්න යෙදීමයි. ඉංග්‍රීසියේ දී වෙනත් අය – et al -ලෙස සඳහන් කරයි.

උදා: John, J.E., Larsen, E.M., Gorman, C.E., & Mahony, S.L. (1998) Bibliographic Control in Developing Countries, Zed Books, London

John, J.E. et al (1998) Bibliographic Control in Developing Countries, Zed Books,London

4. සංස්කරණය කරන ලද කෘතියක පළ වූ ලිපියක හෝ එහි පරිච්ඡේද – කතුවරයකු හදුනාගත හැකි විට

ලිපියේ හෝ පරිච්ඡේදයේ කතුවරයා පිළිබදව පමණක් පෙළෙහි උද්ධරණයේ දක්වන නමුත් ග්‍රන්ථ නාමාවලියේ ප්‍රකාශනයේ සියළු තොරතුරු ඇතුළත් කළ යුතු ය.

ලිපියේ හෝ පරිච්ඡේදයේ කර්තෘගේ නම, මුලකුරු (ප්‍රකාශිත වසර). ලිපියේ හෝ පරිච්ඡේදයේ නම, එහි සංස්කාරක, ග්‍රන්ථ නාමය, ප්‍රකාශිත ස්ථානය, ප්‍රකාශක, ලිපියේ හෝ පරිච්ඡේදයේ පිටු

Gratton, L. & Pearson, J. (1994) ‘Empowering leaders: are they being developed?’ in Mabey, C. and Iles, P., eds., Managing Learning,London, Routledge, 87-105.

අදාල ලිපිය හෝ පරිච්ජේදය උද්ධෘත පාඨ අතර දක්වා ඇත. මුල් කෘතිය ඇල අකුරෙන් දක්වා ඇත.

5. සංස්කරණය කරන ලද හෝ සම්පාදනය කරන ලද කෘතියක්

සංස්කාරකගේ නම, මුලකුරු (ප්‍රකාශිත වසර). කෘතියේ නම, ප්‍රකාශිත ස්ථානය, ප්‍රකාශක

Cohen, L., Manion, L. and Morrison, K., eds. (2000) Research Methods in Education,London, Routledge.

Liebowitz, J. and Wilcox, L.C., comps. (1997) Knowledge Management and its Integrative Elements,Boca Raton, CRC Press.

මෙහි දී සංස්කාරක හෝ සම්පාදක (editor or compiler) විය හැකි ය.

6. අන්තර්ජාලයේ පොතක් – විද්යුත් ග්‍රන්ථ (E – book)

කර්තෘගේ නම, මුලකුරු (ප්‍රකාශිත වසර). ග්‍රන්ථ නාමය, පොත අන්තර්ජාලයට ඇතුළු කර ඇත්තේ කවුද යන්න (මාර්ගගත / Online), එය අන්තර්ගත වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය)

Beck, K. (1999) Extreme Programming Explained, Safari Tech Books [online], available: http://proquest.safaribooksonline.com/0201616516/pref01 [accessed 10 Oct 2005].

පොතේ නම ඇල අකුරින් දක්වා ඇත. පොත දක්නට ලැබෙන මාධ්‍ය (Format) සහ එයට ප්‍රවේශිත දිනය (Accessed date) කොටු වරහන් තුළ දක්වයි.

7. කෘතියකට විචාරයක්

විචාරයකයාගේ නම, මුලකුරු ව (ප්‍රකාශිත වසර). විචාරය සැපයූවේ කිනම් කෘතියටද යන්න, විචාරය පළවී ඇති ප්‍රකාශනයේ නම, එහි කලාපය, පිටු අංක

Patil, S. (2005) The Project Management Toolkit by Kendrick, T., reviewed in Engineering, 57(5), p. 25.

8. කර්තෘ සඳහන් නොමැති අවස්ථාවක හෝ කර්තෘ නොමැති විට (අඥාත කර්තෘ)

ග්‍රන්ථ නාමය, (ප්‍රකාශිත වසර). සංස්කරණය (පළමු සංස්කරණය නොවේ නම්), ප්‍රකාශිත ස්ථානය, ප්‍රකාශක

Black’s Medical Dictionary (1992) 37th ed., A & C Black,London.

ලිපි සඳහා ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. සඟරා ලිපියක්

කර්තෘ ගේ නම (ප්‍රකාශිත වසර). ලිපි නාමය. සඟරාවේ සම්පූර්ණ නාමය, කලාප අංකය (කාණ්ඩ අංකය), පිටු අංක

Shaw, P. (1982). ‘Plagiary’. American Scholar, 51 (Summer), 325-337

Grenfell, M. C., Ellery, W. N., Garden, S. E., Dini, J. and Van Der Valk, A. G. (2007) ‘The language of intervention: a review of concepts and terminology in wetland ecosystem repair’, Water SA, 33(1), 43-50.

ලිපියේ නාමය උද්ධෘත අතරේ ද සඟරාවේ නම ඇල අකුරින් සඳහන් කරයි.

2. විද්යුත් සඟරා ලිපියක් – අන්තර්ජාලය හරහා පරිශීලනය කල

කර්තෘ ගේ නම (ප්‍රකාශිත වසර). ලිපි නාමය. සඟරාවේ සම්පූර්ණ නාමය, [මාර්ගගත/Online], කලාප අංකය (කාණ්ඩ අංකය)/ එය සඳහන් නොමැති අවස්ථාවක ප්‍රකාශිත මාසය හෝ වර්ෂය, අන්තර්ගත වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය)

Sadler-Smith, E. (2003) ‘Psychology and the music of Michael Tippett – a song of innocence and experience’, The Psychologist, [online], 18(10), available:http://www.bps.org.uk/media-centre/press-releases/releases$/thepsychologist$/tipp.cfm [accessed 16 Aug 2007].

3. විද්‍යුත් සඟරා ලිපියක් – තොරතුරු දත්ත ගොනුවකින් හරහා පරිශීලනය කල

කර්තෘ ගේ නම (ප්‍රකාශිත වසර). ලිපි නාමය. සඟරාවේ සම්පූර්ණ නාමය, කලාප අංකය (කාණ්ඩ අංකය)/ එය සඳහන් නොමැති අවස්ථාවක ප්‍රකාශිත මාසය හෝ වර්ෂය, පිටු අංක තිබේ නම්, එය අන්තර්ගත තොරතුරු ගොනුව (ප්‍රවේශිත දිනය)

Edi, M. and Langeheine, R. (1999) ‘The measurement of consistency and occasion specificity with latent class models: a new model and its application to the measurement of affect’, psychological Methods, [online], 4, 100-116, available: psyc-articles database [accessed 27 July 2005].

4. පුවත්පත් ලිපියක්

කර්තෘ ගේ නම (ප්‍රකාශිත වසර). ලිපි නාමය. පුවත්පත් නාමය, පළවූ දිනය, පිටු අංක

Fisk, R. (1993) ‘Destinies collide on the Nile’, Independent on Sunday, 29 Mar, 18-19

5. පුවත්පත් ලිපියක් – අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කළ

කර්තෘ ගේ නම (ප්‍රකාශිත වසර). ලිපි නාමය. පුවත්පත් නාමය, පළවූ දිනය, එය අන්තර්ගත වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය)

Caulkin, S. (2003) ‘Ethics and profits do mix’, The Observer, [online], 20 Apr, available: http://observer.guardian.co.uk/business/story/0,6903,939885,00.html [accessed 16 Oct 2003].

ලිපි ගනුදෙනු / Correspondents

ලිපි ගනුදෙනු (ලේඛනාගාර හෝ පෞද්ගලික එකතූන්ගෙන් පරිශීලනය කළ)

කර්තෘගේ නම (ප්‍රකාශිත වසර). ලිපියට අදාල කාරණය, ලිපිය ලබන්නාගේ නම, වසර, කිනම් එකතුවක තිබේද යන්න

Lloyd George, D. (1920) ‘Invitation to attend Parliament on 10 Feb 1920’, letter to Eamon DeValera, 2 Feb, held in Norton Collection, Glucksman Library, University of Limerick, Limerick.

විද්යුත් ලියුම් සහ සම්මුඛ පරීක්ෂණ – මේවා පොදු තොරතුරු මූලාශ්‍රයන් නොවන හෙයින් ග්‍රන්ථ නාමාවලියේ දැක්වීම අත්‍යවශය නොවේ. නමුත් පෙළ ඇතුළත තමා පරිශීලනය කරන ලද විද්යුත් ලියුම් සඳහන් කළ හැක.

… in an email to the author (Aug 2004) Phelan clarified the point …

… In an interview (Breen Apr 2005) the findings of the report were discussed and Breen agreed …

විද්යුත් මාධ්‍ය සඳහා ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. බ්ලොගයක්

කර්තෘ ගේ නම, මුලකුරු (ප්‍රකාශිත වසර). අන්තර්ගත කරන ලද තොරතුරේ විෂයය, බ්ලොගයේ නම (මාර්ගගත/Online), එය අන්තර්ගත කරන ලද දිනය, වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය)

Bradley, D. (2007) ‘Could World of Warcraft Fight Disease?’ Sciencebase Science Blog [online], 24 Aug, available: http://www.sciencebase.com/science-blog/category/health [accessed 28 Aug 2007].

2. අන්තර්ජාල සංවාද මණ්ඩපයක්

කර්තෘ ගේ නම, මුලකුරු (ප්‍රකාශිත වසර). සංවාද මණ්ඩයේ නම (මාර්ගගත / Online), එය අන්තර්ගත කරන ලද දිනය, වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය)

Trastoy, T. S. (2003) ‘The so-called “Flywheel of Saqqara”’, Egyptologists Electronic Forum Bulletin Board [online], 2 Jul, available: http://www.

geocities.com/TimesSquare/Alley/5582/SaqqaraFlywheel.html [accessed 16 Oct 2003].

3. වෙබ් පිටුවක්

වෙබ් පිටුවේ අයිතිකරුගේ නම, ප්‍රකාශිත වසර වරහන් තුළ. වෙබ් පිටුවේ නම (මාර්ගගත/Online), වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය)

National Development Programme (2007) ‘EU Funding’, Overview [online], available: http://www.ndp.ie/docs/EU_Funding/21.htm [accessed 16 Jun 2007].

4. විකි

වෙබ් පිටුවේ නම, ප්‍රකාශිත වසර වරහන් තුළ. වෙබ් පිටුවේ විෂයය (මාර්ගගත/Online), වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය හා වේලාව)

Wikipedia (2007) ‘Global Warming’, [online], available: http://en.wikipedia/org/wiki/Global warming [accessed 16 Aug 2007, 14h32].

පින්තූර/ඡායාරූප සඳහා ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. පින්තූර, රූප, ඡායාරූප, වගු, ප්‍රස්ථාර

කර්තෘ ගේ නම (ප්‍රකාශිත වසර). රූපයේ නම, එය ඇතුළත් ප්‍රකාශනයේ නම, සංස්කරණය, ප්‍රකාශිත ස්ථානය, ප්‍රකාශක, පිටු අංකය, රූප (රූපයක් ද ඡායාරූපයක් ද වගුවක් ද ප්‍රස්ථාරයක් ද යන වග)

Universityof Limerick(1999) ‘Postgraduate student at work in the Telecommunications laboratory’, University of Limerick: a Celebration, Limerick:University ofLimerick, 105, illus.

2. අන්තර්ජාලයේ රූප

වෙබ් පිටුවේ අයිතිකරු ගේ නම (ප්‍රකාශිත වසර). රූපයේ නම (මාර්ගගත / Online), වෙබ් ලිපිනය (ප්‍රවේශිත දිනය)

Coca Cola (2007) New Coke logo [image online], available: http://www.thecoca-colacompany.com/presscenter/img/imagebrands/downloads/lg_new_coke_logo.jpg [accessed 16 Aug 2007].

3. සිතියමක්

කර්තෘ/සම්පාදක/නිපද වූ අය ගේ නම (ප්‍රකාශිත වසර). සිතියමේ නම, පත්‍රිකා අංකය, මැනුම්, ප්‍රකාශිත ස්ථානය, ප්‍රකාශක (කාණ්ඩ අංකය )

Ordnance Survey (2001) Clare, Limerick, Tipperary, sheet 65, 1:50,000,Dublin: Ordnance Survey (Discovery Series).

4. අඳින ලද චිත්‍රයක්

කලාකරුගේ නම (ප්‍රකාශිත වසර). නම, මාධ්‍යය, වර්ගඵලය, එය නැරඹිය හැකි ස්ථානය, නගරය කලාගාරය හෝ එකතුව, කලාගාරයේ ඊට දී ඇති අංකය

Cezanne, P. (c.1874) Auvers: Village Panorama, oil on canvas, 65cmx81cm, Mr and Mrs Lewis L Coburn Collection, Chicago: Art Institute of Chicago, 1933.422.

අන්තර්ජාලයේ හමුවන අඳින ලද චිත්‍රයක් නම්,

Hennessy, K. (n.d.) Red Flowers [online], available: ttp://www.irelandfineart.com/kate_hennessy/kh_03.html [accessed 30 Aug 2007].

නීති හා අනෙකුත් කාර්යාල හා රජයේ ප්‍රකාශන සඳහා ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. පනත්

රට. වර්ෂය ද ඇතුළත් ව පනතේ නම, අංකය, ප්‍රකාශක, ප්‍රකාශිත සථානය

Sri Lanka. Inland Revenue (amendment) act (1990), No. 22, Government Publication Bureau,Colombo.

ශ්‍රී ලංකාව. ජාතික වටිනාකමක් ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන පනත (1990), අංක 16, රජයේ ප්‍රකාශන කාර්යාංශය, කොළඹ.

2. පන්ත කෙටුම්පත්

රට. වර්ෂය ද ඇතුළත් ව කෙටුම්පතේ නම, අංකය, ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය

Sri Lanka. Parliament. A bill to amend the Holidays act, no. 29 of 1971 (1990), 18, Government Publication Bureau,Colombo

ශ්‍රී ලංකාව. පාර්ලිමේන්තුව. හෙළ හවුල සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත (1990), 101, රජයේ ප්‍රකාශන කාර්යාංශය, කොළඹ

3. උසාවි තීන්දු

රට. වර්ෂය ද ඇතුළත් ව නඩුවේ නම, සඳහන් නීති වාර්තාවේ නම, ප්‍රකාශිත සථානය, ප්‍රකාශක, පිටු අංක

Sri Lanka. Caldera vs. Commercial Investments Ltd (1990), New Law Reports, Government Publication Bureau,Colombo

4. වාර්ෂික වාර්තාවක්

ආයතනය (ආයතනය කර්තෘ වන බැවින්) ප්‍රකාශිත වසර, වාර්තාවේ නම, වාර්තාවට අංකයක් ඇත්නම් එය ද සදහන් කරන්න, ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය

The British Library (1990), Annual Report, British Library,London

කොළඹ මහ නගර සභාව (1998) වාර්ෂික වාර්තාව හා ගිණුම්, කොළඹ මහ නගර සභාව, කොළඹ

5. කොමිෂන් සභා / කමිටු වාර්තා

රට. කොමිෂන් සභාවේ/කමිටුවේ නම සහ වර්ෂය, කමිටු වාර්තාවේ නම, ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය

India. Committee on National Development (1995), Report of the Committee on National Development, Ministry of National Development, Government ofIndia.

ශ්‍රී ලංකාව. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ සොයා බැලීමට වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව (1995) ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ සොයා බැලීමට වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව,රජයේ ප්‍රකාශන කාර්යාංශය, කොළඹ

5. රජයේ ප්‍රධානීන්ගේ නිල ප්‍රකාශය

රට. පුද්ගලයා, ප්‍රකාශයේ නම දිනය සහ වසර ද සමග, ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය

Sri Lanka. President (1990), Address to Parliament by the President on 4th April 1990, Presidential Secretariat,Colombo.

ශ්‍රී ලංකාව. ජනාධිපති (1990) 1990 අප්‍රේල් 04 වනදා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ

මාධ්‍යය සම්බන්ධ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. පුවත් පත් නිවේදනයක්

පුවත් පත් නිවේදනයේ කර්තෘ ප්‍රකාශිත වසර සමග, පුවත්පත් නිවේදනයේ නම, දිනය, ප්‍රකාශිත වෙබ් ලිපිනය (මාර්ගගත/Online), (ප්‍රවේශිත දිනය)

Food Safety Authority (2005) Food Safety Authority Advises on Illegal Food Colourant [press release Online], 22 May, available: http://www.fsai.ie/news/press/pr_05/pr20050505.asp [accessed 23 May 2006].

2. රූපවාහිනි / ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡා

සහභාගි වූ අයගේ නම වර්ෂය සමග, සම්මුඛ සාකච්ඡාවේ නම (මාධ්‍යය), මාධ්‍ය ජාලයේ නම, විකාශිත දිනය, විකාශිත වේලාව

Ahern, B. (1999) Interview on Morning Ireland [radio], RTE Radio 1, 15,Feb, 08h30.

3. රූපවාහිනී ගුවන් විදුලි වැඩසටහනක්

වැඩසටහනේ නම සහ වසර, මාධ්‍ය ජාලයේ නම, විකාශිත දිනය, වේලාව

Primetime (2005) [Radio programme], RTE 1, 31 Mar, 21h30.

සැරිසර (2000) [රූපවාහිනි වැඩසටහන], ජාතික රූපවාහිනිය, සැප්තැම්බර් 30, පැ 22.30

4. රූපවාහිනී ගුවන් විදුලි වෙළඳ දැන්වීමක්

වෙළඳ ආයතනයේ නම සහ වසර, වෙළඳ දැන්වීම පිළිබඳ විස්තරය (විකාශන කාලය), මාධ්‍යය, මාධ්‍ය ජාලය, විකාශිත දිනය / දින

Coca Cola (2006) ‘Santa handing bottles of Coca Cola to a girl every year at Christmas from childhood to adulthood’ (30 secs), [Television advertisement], ITV3, screened 1 Dec 06 – 25 Dec 06.

5. කථාවක්

කථාව පැවැත්වූ අයගේ නම වසර සමග, කථාවේ මාතෘකාව එසේ නොමැති නම් ඒ පිළිබඳ විස්තරයක්, පැවැත් වූ දිනය, ස්ථානය, දිනය, ප්‍රකාශිත වෙබ් ලිපිනය (මාර්ගගත/Online), (ප්‍රවේශිත දිනය)

King, M. L. (1963) I Have a Dream, speech 28 Aug,WashingtonD.C., [online], available: http://www.mlkonline.net/dream.html [accessed 2 Mar 2004].

6. චිත්‍රපට / ඩීවීඩී (dvd) /විඩියෝ (video)

අධ්‍යක්ෂක ගේ නම බෙදාහැරි වර්ෂය සමගින්, චිත්‍රපටියේ නම (මාධ්‍යය), බෙදාහරිනු ලබන ස්ථානය, බෙදාහැරි ආයතනය

Spurlock, M. (2005) Supersize Me: A Film of Epic Proportions [film],Beverly Hills: Roadside Attractions.

සේදර, ජේ.ඩී. (2003) දහ අට වන්නම, [වීඩියෝ පටය], තරංගා ඩිස්ට්‍රිබියුටර්ස්, නුගේගොඩ

7. මයික්‍රොෆිල්ම් (microfilm)/මයික්‍රොෆිච් (microfiche)/සීඩී (cd rom)

කර්තෘ සහ වසර, ලිපියේ මාතෘකාව, මූලාශ්‍රය (මාධ්‍යය), කාණ්ඩ අංකය හෝ දිනය, පිටු අංක

Census of Ireland(1813) W.S.Mason: Parochial Survey [microfiche], 2, 5.

Encarta 97 encyclopedia (1997) [CD Rom], Microsoft,RedmondPA

Young, B and Heath, J (2000) Wheaters functional histology a text and colour atlas, 4th ed., [CD Rom], Churchill Livingstone, Edinburgh

ගෙවතු වගාව (2007) [සීඩී තැටිය], කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය, පේරාදෙණිය

8. පොඩ් කාස්ට් (podcast or archived tv programme)

විකාශක සහ වසර ‘වැඩසටහනේ නම’, වැඩසටහන් මාලවේ නම [podcast], විකාශිත දිනය, ප්‍රකාශිත වෙබ් ලිපිනය, (ප්‍රවේශිත දිනය)

rte Radio 1 (2007) ‘A special programme from the Met Office in Glasnevin’, Quantum Leap [podcast], 19 Apr, available: http://pc.rte.ie/2007/pc/pod-v-19042007-39m15s-quantum-leap.mp3 [accessed 23 July 2007].

9. යූ ටියුබ් වීඩියෝ (youtube video)

තිරයේ නාමය (Screen name) ඉදිරිපත් කරන්නා ගේ සහ වසර ‘විඩියෝ පටයේ නාමය’, මාලාවේ නාමය

, ප්‍රකාශිත වෙබ් ලිපිනය (මාර්ගගත/Online), (ප්‍රවේශිත දිනය)

International Rescue Committee (2007) ‘Bringing Water to Pakistan’s Earthquake- ravaged Communities’, The International Rescue Committee’s videos at www.theirc.org

, available: http://www.youtube.com/watch?v=qrz_wifeazm [accessed 16 Aug 2007].

සංගීත කෘති සඳහා ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. පටිගත කිරීම් (recordings) – වාණිජ හඬ පට (commercial audio)

කලාකරු සහ ප්‍රකාශත වසර ‘හඩ පටයේ නම’, මාධ්‍යය, නිෂ්පාදකගේ නම, ස්ථානය

මාලනී, එන් (1996) සත්‍යයේ ගීතය, [කැසට් පටය], සිංන්ග් ලංකා, නුගේගොඩ

Harker, John (2005) Music for mind, [Sound Cassette], Psychologists Association, London.

2. සංගීත ප්‍රස්තාර (sheet music)

සංගීත සංකලනය (Composer) නව ප්‍රකාශනයේ වර්ෂය (year of current publication) ‘සංගීත ප්‍රස්ථාරයේ නම (Title of music score’ in) සංගීත ප්‍රස්තාර එකතුවේ නම (Title ofCollection [music score]), ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය

Mozart, W. A. (1968) ‘Eine Kleine Nachtmusik K525’ in Facsimile Series of Music Manuscripts: Serenades K525 [music score],New York:Dover

පත්‍රිකා සඳහා ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු

1. සිද්ධි අධ්‍යයන (case study)

කර්තෘ හෝ කතුවරු සමග ප්‍රකාශිත වසර, සිද්ධියේ මාතෘකාව, case, ප්‍රකාශක, ප්‍රකාශිත වසර

Gould, R. M. (1994) Revolution at Oticon A/S (B): Acquiring ChangeCompetence in a “Spaghetti” Organization, [case], International Management Development Institute,Lausanne

2. සම්මන්ත්‍රණ පත්‍රිකාවක් / ප්‍රකාශිත (conference paper – published)

කර්තෘ හෝ කතුවරු සමග ප්‍රකාශිත වසර, ‘පත්‍රිකාවේ මාතෘකාව’, සම්මන්ත්‍රණයේ සංවිධානයක හෝ මූලාසන, සම්මන්ත්‍රණ වාර්තාවේ නම (Title of the Conference Proceedings), සම්මන්ත්‍රණය පැවැත් වූ ස්ථානය හා දිනය, ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය: පිටු අංක

Kaunitz, J. (1985) ‘Database backup and recovery in transaction driven information systems’, in Katashev, S. P. and Katashev, S., eds., Supercomputing Systems: Proceedings of the First International Conference, St Petersburg, Florida, 16-20 Dec, IEEE Computer Society Press, Washington D.C., 265-272.

3. සම්මන්ත්‍රණ පත්‍රිකාවක් / ප්‍රකාශිත (conference paper – unpublished)

කර්තෘ හෝ කතුවරු සමග ප්‍රකාශිත වසර, ‘පත්‍රිකාවේ මාතෘකාව’, , accepted for

Title of the Conference, conference date. සම්මන්ත්‍රණයේ සංවිධානයක හෝ මූලාසන, සම්මන්ත්‍රණ වාර්තාවේ නම (Title of the Conference Proceedings), සම්මන්ත්‍රණය පැවැත් වූ ස්ථානය හා දිනය, ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය: පිටු අංක

Lægreid, T., Sandal, P. C., Ingvaldsen, J. E. and Gulla, J. A. (2006) ‘Using Business Process Models to Retrieve Information from Governing Documents’, accepted for 9th International Conference on Business Information Systems (bis2006), June.

නිබන්ධන

Callaghan, B. (1995) Voices from the Margins: Postmodernism and Latin American Fiction, unpublished thesis (M.A.), University College Cork.

ජයලත්, සේන (1985) ජනවාර්ගික සංකල්පය පිලබඳ තුලනාත්මක අධ්‍යයනයක්, අප්‍රකාශිත ශාස්ත්‍රපති උපාධි නිබන්ධනය, කැලණිය විශ්වවිද්‍යාලය.

පහත දැක්වෙන්නේ වැදගත් අවස්ථා කිහිපයක දි නිබන්ධනයක පෙළෙහි උද්ධරණ හා ග්‍රන්ථ නාමාවලියේ සඳහන් විය යුතු ආකාරය උදාහරණ සහිතව යි.

අවස්ථාව ප්‍රකාශනය තුළ පෙළෙහි උද්ධරණයIn-text Reference ග්‍රන්ථ නාමාවලියBibliography or Reference list
එක් කතුවරයකු සහිත (Evens 1978, p. 36).
Evens, JG (1978 ) An Introduction to Environmental Archaeology, Paul Elek,London.

කතුවරු දෙදෙනෙක් සහිත (Tiernan & Waller 2010, p. 299). Tiernan, A & Weller, P (2010) Learning to be a Minister: heroic expectations, practical realities, Melbourne University Press,Carlton.
කතුවරු තිදෙනකු සහිත (Aronson, Wilson & Akert 2007, p. 36). Aronson, E, Wilson, TD & Akert, RM (2007) Social psychology, 6th ed., Pearson Education, New Jersey.
කතුවරු තිදෙනකුට වඩා වැඩි (Adams et al. 2009, p. 11). Adams, JC, Brainerd, WS, Hendrickson, RA, Maine, RE, Martin, JT & Smith, BT (2009) The Fortran 2003 Handbook: the complete syntax, features and procedures, Springer,USA.මෙය තවත් ආකාරයකට දැක්විය හැක.Adams et al. (2009) The Fortran 2003 Handbook: the complete syntax, features and procedures, Springer, USA.
කර්තෘ සඳහන් නොමැති හෝ කර්තෘ කෙනෙකු නොමැති අවස්ථාවකග්‍රන්ථ නාමය යොදා ගනී. (Black’s MedicalDictionary 1992) Black’s Medical Dictionary (1992), 37th ed.,London, A & C Black.
සංස්කරණය කරන ලද ග්‍රන්ථයක ලිපියක් හෝ පරිච්ඡේදයක් – වෙනත් කතුවරයකු විසින් ලියා ඇති විට (Schulenkorf & Edwards 2010, p. 113).පරිච්ඡේදයේ හෝ ලිපියේ කර්තෘ Schulenkorf, N & Edwards, D 2010, ‘The role of sport events in peace tourism’ , in O Moufakkir and I Kelly (eds), Tourism, progress and peace, CABI, Oxfordshire, pp. 99-117.
සංස්කරණය කරන ලද කෘතියක්, වෙන් වශයෙන් කර්තෘ හදුනාගත නොහැකි විට (ed. Krajca 1989 p. 14). Krajca, JM (ed.) 1989, Water sampling, trans. J Joseph, Ellis Horwood series in water and wastewater technology, Ellis Horwood,West Sussex
ඉලෙක්ට්‍රොනික් පොතක්, පිටු අංක රහිත (Chomycz 2009, s. 10.2.4). Chomycz, B 2009, Planning fiber optic networks, McGraw-Hill, Books24x7, viewed 1 December 2010.
ඉලෙක්ට්‍රොනික් පොතක්, පිටු අංක සහිත Ghassemi & White 2007, p. 141). Ghassemi, F & White, I 2007, Inter-basin water transfer: case studies from Australia, United States, Canada, China and India, Cambridge University Press, EBL Ebook Library, viewed 6 December 2010.
ග්‍රන්ථයකට ලියූ විචාරයක් (Patil, 2005, p. 25). Patil, S (2005) The Project Management Toolkit by Kendrick, T., reviewed in Engineering, 57(5), p. 25.
තවමත් ප්‍රකාශයකට පත් නොවූ ප්‍රකාශයට පත් වීමට නියමිත ග්‍රන්ථයක් (Stetter and Nathanson, forthcoming) Stetter, S. and Nathanson, R., eds. (2013, forthcoming) A Region under Stress: EU-Israeli Relations and Wider Middle East Politics (Working Title), Fredrich-Ebert-Stiftung, Tel Aviv andBerlin.
සගරා ලිපියක් (Ashworth, Bannister and Thorne, 1997) Ashworth, P., Bannister, P. and Thorne, P. (1997). ̍ ‘Guilty in whose eyes? University students’ perceptions of cheating and plagiarism inacademic work and assessment‘. Studies in Higher Education, 22(2), 187-203.
අන්තර්ජාල සඟරා ලිපියක් (Liddell and Fong, 2008) Liddell, J. and Fong, V. (2008). ‘Honesty, integrity and plagiarism: the role of student values in prevention‘. Plagiary [on-line]. 3, pp.1-5. Available at www.plagiary.org/papers_and_perspectives.htm[Accessed 5 November 2008].
ඉලෙක්ට්‍රොනික් සඟරා ලිපිය කතුවරයකු රහිත (How to avoid embarrassing leaks 2008, p. 4). ‘How to avoid embarrassing leaks’ 2008, IT Week, 10 March, p. 4, Computers & Applied Sciences Complete, EBSCOhost, viewed 8 December 2010.
පුවත් පත් ලිපියක් – කතුවරයකු සහිත (Swain, 2008) Swain, H. ‘The art of doing an assessed assignment‘, The Guardian:Education supplement, 23 September 2008, p.11.
පුවත් පත් ලිපියක් – කතුවරයකු රහිත (Daily Telegraph, 2008) Daily Telegraph. ‘Half ofCambridge students admit cheating‘, 31 October 2008, p. 14.
වෙබ් අඩවියක් -එක් කතුවරයකු රහිත (BBC, 2011) BBC (2011). Working in nursing and care. [Online]. Available at: http://www.bbc.co.uk/skillswise/factsheet/jo09care-e3-fworking- in [Accessed 12 April 2012].
ආයතන කර්තෘ (International Chamber of Commerce 2010, p. 105). International Chamber of Commerce 2010, Incoterms 2010: ICC rules for the use of domestic and international trade terms, ICC Services, Paris.
මව් ආයතනයට අනුබද්ධිත ආයතනයක් විසින් ප්‍රකාශනයක් කලවිට (OECD, Manpower andSocial Affairs Committee1986) OECD, Manpower and Social Affairs Committee(1986) Measures to Assist Workers Displaced byStructural Change, OECD,Paris.
ප්‍රකාශනය රජයේ දෙපාර්තමේන්තුවක් මගින් නම් (Ireland, Department ofHealth and Children 2005) Ireland, Department of Health and Children(2005) Statement of Strategy 2005-2007, Department of Health and Children,Dublin
මෙම ලිපිය සකස් කිරීමේ දී භාවිත කරන ලද තොරතුරු මූලාශ්‍රයන් පෙළෙහි දක්වා නැත්තේ මෙම ලිපිය ද තොරතුරු මූලාශ්‍ර උද්ධරණය සම්බන්ධ ව වන බැවින් එමගින් මෙය පරිශීලනය කරන්නකු අපහසුවට පත් වේ යැයි සිතූ බැවිනි. සහාය කරගන්නා ලද තොරතුරු මූලාශ්‍ර නාමාවලිය පහත පරිදි ය.

ග්‍රන්ථ නාමාවලිය

රණසිංහ, පියදාස (2009). උසස් උපාධි නිබන්ධ සම්පාදන උපදෙස්, 2 සංස්., සමාජ විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.

Monash University Library (2012). Harvard Referencing Guide, online, available http//www.lib.monash.edu.au/tutorials/citing/Harvard.html. Accessed 16 September 20012

පොලොන්නරුව, කන්දේගම ප‍්‍රාකෘතික ශෛල සිතුවම්

එල්.එම්. දිනේෂ් කුමාර විමලසේන

මූළ පද : පොලොන්නරුව, කන්දේගම, ප‍්‍රාකෘතික ශෛල සිතුවම්, උත්කීර්ණ (Engraving) ශිල්ප ක‍්‍රමය, සන්නිවේදන අර්ථ

1. අධ්‍යයන සංක්‍ෂිප්තය

දිනේෂ් කුමාර විමලසේන

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයට මායිම්ව ඇති පොලොන්නරු රාජධානි සමයේ දියුණු මට්ටමක පැවති බවට සාධක හමුවන කන්දේගම කන්දේ ස්වාභාවික පිහිටි ලෙන් සමූහයෙන් ලෙන් දෙකක ආදීවාසීන් හෝ ඊට පෙර ශ‍්‍රී ලංකාවේ වාසය කළ ප‍්‍රාග්ඓතිහාසික මානවයින් විසින් සිතුවම් කරන්නට ඇතැයි සැලකිය හැකි උත්කීර්ණ (Engraving) ශිල්ප ක‍්‍රමය මගින් සිදුකළ ප‍්‍රාකෘතික සිතුවම් ශෛලියක් විද්‍යමාන කෙරෙන සිතුවම් කීපයක් දැකගත හැකි වේ. මෙතෙක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාකෘතික ගුහා සිතුවම් වල හමුනොවන විශේෂ තේමාවක් සහිත ගල් ගුහාවක් හා ඊට යාබදව ඇති ප‍්‍රාකෘතික මෙන්ම වර්ධිත ලක්ෂණයන්ගෙන් හෙබි සිතුවම් ශේෂ ව පවතින ගල් ආවරණයක් ලෙස කාලපරාස දෙකක් නියෝජනය කරනු ලබන ස්ථාන දෙකක් හදුන්වා දීම මෙම පත‍්‍රිකාවෙන් අපේක්‍ෂිත අතර පුරාවිද්‍යාත්මක ප‍්‍රාථමික දෘෂ්‍ය මූලාශ‍්‍රයක් ලෙස ගැනෙන මෙහි අන්තර්ගත සිතුවම් වලින් හෙළිවන සන්නිවේදන අර්ථ පිළිබඳ කරුණු හෙළිකිරීම අරමුණ වේ. පහසුවෙන් සිතුවම් ඇඳීමට හැකි ගල් පෘෂ්ඨ තිබිය දී සැලකිය යුතු මට්ටමක ආයාසයක් දැරීමෙන් සිතුවම් නිර්මාණය කිරීමට ගත් උත්සහයක් කන්දේගම කන්ද ගල් ගේ දැකගත හැක. එහි ඇති සිතුවම් වල සංකීර්ණ ස්වභාවය මෙහි දී විශේෂයෙන් දැක්විය යුතු ය. මෙහි බිත්ති පෘෂ්ඨය පිරෙන ආකාරයෙන් සිතුවම් විහි දී පවතින අතර එම සිතුවම් සියල්ල ප‍්‍රාකෘතික ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.

2. අධ්‍යයන ක්ෂේත්‍රය හැඳින්වීම

ශී‍්‍ර ලංකාවේ මෙතෙක් අනාවරණය කොට ඇති ප‍්‍රාකෘතික ලක්‍ෂණ වලින් යුක්ත ගුහා සිතුවම් පවතින ස්ථාන වල ඇති සිතුවම් වලට වඩා ප‍්‍රාග් ඓතිහාසික මානව සමාජ ජිවිතය පිළිබඳ අවබෝධ කරගත හැකි සිමීත සාධක අතික‍්‍රමණය කරනු ලබන විශේෂ සන්නිවේදනය අර්ථ සපයන සිතුවම් අන්තර්ගත ස්ථානයක් ලෙස කන්දේගම කන්ද හඳුන්වාදිය හැක. ප‍්‍රාකෘතික ශෛල සිතුවම් යනු, සංකේත විශේෂයකි. ලේඛනය බිහිවීමට පෙර නිර්වාචික සන්නිවේදනය සිදු වූයේ සංකේත මගිනි. අදහස් හා හැගීම් ප‍්‍රකාශනය කිරීමේ මාධ්‍යයක් ලෙස ප‍්‍රාග් ඓතිහාසික මානවයා සිතුවම් නිර්මාන කළෝය. මෙතෙක් හමු නොවූ තේමා භාවිතය, වස්තු විෂයය මෙන්ම ශිල්පීය ඥානය කන්දේගම කන්ද ගුහා සිතුවම් වලින් හඳුනාගත හැකිය. පුරාවිද්‍යා විෂයය ක්‍ෂේත‍්‍රය පෝෂණය කරනු ලබන ප‍්‍රාථමික දෘෂ්‍ය මුලාශ‍්‍රයක් ලෙසත්, චිත‍්‍රකලා ඉතිහාසය හා ශ‍්‍රී ලාංකේය ආදි මානව සන්නිවේදනය හදුනා ගැනීමේ මෙවලමක් ලෙසත් කන්දේගම කන්ද සිතුවම් වැදගත් වේ. ශි‍්‍ර ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර ගවේෂණය කළ යුරෝපීය ජාතීන් විසින් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ විඥානය යුරෝපීය ප‍්‍රාග් ඓතිහාසික මානවයාට සාපේක්‍ෂව පහළ මට්ටමක පවතින බවට මතයක් ගොඩනගා තිබිණි. නමුත් ශී‍්‍ර ලංකේය ප‍්‍රාග් ඓතිහාසික මානවයා ගේ ශිල්පිය නිපුණතාව හා විඥානය එම පැහැදිලි කිරිම් වලට වඩා උසස් තලයක පිහිටන බව හෙළි කිරිමට ඇති ප‍්‍රබල සාධකයක් ලෙස කන්දේගම කන්ද ගල් ගේ සිතුවම් ඉදිරිපත් කළ හැක.

3. ක්ෂේත‍්‍රයේ මූලික අධ්‍යයනය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වන එච්. සී. පී. බෙල් ගේ 1897 වාර්ෂික පාලන වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවේ මුලින් ම සොයාගත් ප‍්‍රාකෘතික ශෛල සිතුවම් ඇති කොනත්තේගොඩගල ගල් ගේ කන්දේගම කන්දේ ස්ථානගත වන බව දක්වා තිබේ. කන්දේගම කන්ද හෙක්ටයාර 1,800 ට වැඩි භූමි ප‍්‍රමාණයක විහිදෙන බටානේ හෙළ, අරාවේ හෙළ, දානිගල කන්ද ආදී කඳු පන්ති ගණනාවකින් සැදුම් ලද්දකි. මෙම සියලු කඳු පන්ති කන්දේගම කන්ද නමින් එකම කන්දක් ලෙස නම් කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. අද්‍යතනයේ කන්දේගම කන්ද ආශී‍්‍රත ප‍්‍රදේශය තුළ ආදිවාසී ජනාවාස දැකගත නොහැකි වුවත් වර්ෂ 1897 න් මෙපිට කාලය තුළ පවා ආදීවාසී ජනාවාස ඒ ආශ‍්‍රීතව තිබු බව හෙළි වේ.

කන්දේගම සෙල්ලිපියේ දානීගල යන නමින් ද, ආරාම කෝටියක් පැවති බව අරුත්දෙන කොට්ටියාරම්පත්තුව යන නමින් ජනප‍්‍රවාදයේ ද, අන්තර් ගංගා කලාපීය ප‍්‍රදේශය යන නමින් ප‍්‍රාථමික ලිඛිත මූලාශ‍්‍රයක් වන මහාවංශයේ ද සඳහන් වන්නේ කන්දේගම කන්ද හා ඒ අවට ප‍්‍රදේශය බව අනාවරණය විය. ජනප‍්‍රවාද තොරතුරු වලට අනුව කන්දේගම කන්ද ආශී‍්‍රත ප‍්‍රදේශය රාවණා යුගය නියෝජනය කරනු ලබයි. ක්ෂෙත්‍රය අවට ස්වාභාවික ලෙන් රැසක් පිහිටා තිබෙන අතර පුර්ව ආරාමික භික්ෂුන් වාසය කළ ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවස පමණ කාලය නියෝජනය කරන බ‍්‍රාහ්මීය අක්‍ෂර සහිත කටාර කෙටූ ගල් ලෙන් හඳුනාගත හැක. කූටකන්ත තිස්ස (ක‍්‍රි.පූ. 42-20) රජ දවස සිට මහසෙන් (ක‍්‍රි.ව. 276-302) රජ දවස දක්වා විවිධ රජවරුන්ගේ පාලනය යටතේ සංවර්ධනය වූ දානගල ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පෙර නාග ගෝත‍්‍රික ජනයාගේ වාස භූමියක්ව පැවති බව සනාථ කෙරෙන නාග රූප සහිත මැටි මෙවලම් කිහිපයක් ක්ෂේත්‍රය අවටින් හමුවි තිබේ. ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පූර්වයේ ප‍්‍රාග් ඓතිහාසක යුගය නියෝජනය කරනු ලබන පුරාවිද්‍යාත්මක ප‍්‍රාථමික දෘශ්‍ය මූලාශ‍්‍රයක් ලෙස කන්දේගම කන්ද ගල් ගේ සිතුවම් හඳුනාගත හැක.

4. ස්ථානගතවීම

සිතුවම් සහිත ගල්ලෙන

ශ‍්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ, පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ, දිඹුලාගල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ කන්දේගම ග‍්‍රාමසේවා වසම පිහිටා තිබේ. පොලොන්නරුවේ සිට දිඹුලාගල පසු කොට හා මහියංගනයේ සිට දෙහිඅත්තකණ්ඩිය පසු කොට අරලගංවිල ට පිවිස කි. මී. 8ක් පමණ දම්මින්න පසු කොට ගිය තැන කන්දේගම ධනංජය රජමහවිහාර භූමිය පිහිටා තිබේ. අම්පාර මහඔය නගරයේ සිට අරලගංවිල මාර්ගය ඔස්සේ මෙම විහාර භූමියට ප‍්‍රවේශවීමේ හැකියාවක් ද පවතී. ධනංජය රජමහා විහාරයේ සිට උතුරු දෙසට වැටී ඇති අඩිපාරක් ඔස්සේ කන්දේගම කන්ද ශෛල සිතුවම් පවතින ස්ථානයට ප‍්‍රවේශ මාර්ගය වැටී තිබේ. අධ්‍යනයට ලක්වන ක්ෂේත්‍රය නිරපේක්‍ෂ වශයෙන් උතුරු අක්ෂාංශ 7’.42’ 277’ හා නැගෙනහිර දේෂාංශ 81’.13’ 251’ පමණ ස්ථාන ගතවීමක් සටහන් වෙයි. සිතුවම් සහිත ගල් ගුහාව හා ගල් ආවරණය පිහිටා ඇත්තේ කන්දේගම කන්ද මුදුනේ වන අතර ගමන් කළ යුත්තේ දුෂ්කර ගිරි දුර්ග මාර්ගයක් ඔස්සේය. දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය නිසා අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ මෙම ප‍්‍රදේශය තුළ වනඅලි බහුල ව වෙසෙති. විහාරාධිපති පුජ්‍ය මාවනැල්ලේ සිරසාලංකාර හාමුදුරුවන් ගේ උපදෙස් හා මඟපෙන්වීම නිසා බාධක රැසක් මඟ හැර ගමනාන්තයට ලඟාවීමට හැකි විය.

5. පුර්ව අධ්‍යයනය

අඛණ්ඩව පරිණාමය වන මානව සමාජ ක‍්‍රමය තුළ පරිණාමය නොවු හෝ පරිණාම කි‍්‍රයාවලියේ අතරමඟ නතර වු සරල ජන සමාජයන්ට අයත් මානවයින් ප‍්‍රාග් ඓතිහාසික මානවයින් ලෙස හඳුනා ගැනේ. යථාර්තය හා මිත්‍යාව අතර වෙනස පිළිබඳ හැගීමෙන් තොර, අගමික දෘෂ්ටියක් මත කි‍්‍රයා නොකළ, අභිචාරාත්මක සංකල්ප වලට වැඩි නැඹුරුවක් දැක් වු, ලිඛිත භාෂාවක් විධිමත් අර්ථ ක‍්‍රමයක් නැති සංචාරක දිවිපෙවතක් ගතකළ ප‍්‍රාග් ඓතිහාසික මානවයා සිමිත අවශ්‍යතා කිහිපයක් අතුරෙන් සන්නිවේදනය ද මුලික කොට තම දෛනික ජීවිතය පවත්වා ගෙනයනු ලැබේ. වත්මන් දියුණු තාක්ෂණික ලෝකයේ ජීවත් වන ජනයාට සන්නිවේදනයේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ක‍්‍රමෝපායන් ගණනාවක් තිබුණත් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ විවිධ අවධීන් වල ජීවත් වු මානවයින්ගේ සන්නිවේදනය සීමා මායීම් වලින් කොටු වී තිබුණි. පැවැති සන්නිවේදන සීමා අතික‍්‍රමණයේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රාග් ඓතිහාසික මානවයන්ගේ තාවකාලික වාසභූමි වු ගල්ගුහා (Rock Cave) හා ගල් ආවරණ (Rock Shelter) වල සරල ශිල්පීය ක‍්‍රමයක් මගින් රේඛා කුරුටු සිතුවම් නිර්මාණය කළහ. මෙම සිතුවම් වල අන්තර්ගතය විශ්ලේෂණය කිරීමෙන් එහි ගැබ්ව පවතින සන්නිවේදන අර්ථ අවබෝධ කරගත හැකි අතර ඒවා ප‍්‍රාකෘතික ජන සමාජ හඳුනා ගැනීමේ ප‍්‍රාථමික දෘෂ්‍ය මුලාශ‍්‍රයක් ද වේ. ශී‍්‍ර ලාංකේය ප‍්‍රාකෘතික ජන සමාජයකට අයත් ලෙස සලකනු ලබන වැදි ජනයා සහ එම වැදි ජනයා ගේ මුතුන් මිත්තන් විසින් අදින ලද සිතුවම් වැදිගුහා චිත‍්‍ර, ශෛල චිත‍්‍ර (Rock Arts), ප‍්‍රාථමික චිත‍්‍ර (Primitive Arts) ප‍්‍රකෘතික කලා, ප‍්‍රාග් ඓතිහාසික කලා (Pre-historic Arts), යන විවිධ නම් වලින් හැදින්වේ. පී.ඊ.පී. දැරණිගල විසින් වර්ෂ 1954 දී මෙම සිතුවම් වල ශිල්පීය තාක්‍ෂණය හා වස්තුවිෂය පදනම් කොට මුල් (Early), මධ්‍ය (Midlle) හා පසු (Late) කාලීන සිතුවම් ලෙස වර්ග කළේය. විධිමත් අධ්‍යයනයකින් පසු නැවත යුග පහක් යටතේ ප‍්‍රාකෘතික ශෛල සිතුවම් වර්ග කරන ලදී.

ප‍්‍රාග් ඓතිහාසික යුගය (Pre Historic) අදට පෙර 28000 – 2600 පමණ.
ප්‍රෝටෝ ඓතිහාසික යුගය (Proto Pre Prehistoric) අදට පෙර 2600-2300 පමණ
පැරණි ඓතිහාසික යුගය (Early Proto Prehistoric) අදට පෙර 2300-2000 පමණ
ඓතිහාසික යුගය (Historic) අදට පෙර 2000 – 1800 පමණ
නව ඓතිහාසික යුගය (Late Historic) අදට පෙර 1800ත් මෙපිට

එක් එක් අවධියේ භාවිත ශෛලීයේ, ශිල්පීය ක‍්‍රමයේ, සායම් හෝ වර්ණ සංයෝජනයේ විවිධත්වය, වස්තුවිෂය හා තේමා භාවිතය අතර ඇති වෙනස්කම්, හරස් සංස්කෘතික කලා ආභාස මෙම කාලනිර්ණයට පදනම සපයයි.

අන්‍ය කලා සම්ප‍්‍රදායයන් මෙන් සිතුවම් කලාව පුරාවිද්‍යාත්මක ප‍්‍රාථමික දෘෂ්‍ය මුලාශ‍්‍රයක් ලෙසත්, පුද්ගල විඥානය අවබෝධ කරගත හැකි මිනුම් දණ්ඩක් ලෙසත් සන්නිවේදන මාධ්‍යක් ලෙසත් ගතහැකි බව බොහෝ උගතුන් අදහස වී තිබේ. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර ඇති ගල් ගුහා හා ගල් ආවරණ 49කි. එම ස්ථාන වල පවතින සිතුවම් ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි තහවුරු කොට නැත. වර්තමානය වනවිට පුරාවිද්‍යා අධ්‍යනයට යොමු වී ඇති ස්ථාන සංඛ්‍යාව 17ක් බව මාහාචාර්ය රාජ් සෝමදේව හෙළිකරයි.

සත්ත්ව ස්වරූපී නිර්මාණ

ශී‍්‍ර ලංකාවේ චිත‍්‍ර කලාව පිළිබඳ සිදුකළ පර්යේෂණ වලට පාදක වුයේ කි‍්‍රස්තු වර්ෂ 5 වැනි ශතකයට අයත් සිතුවම් බව පෙනීයන කරුණකි. මහින්දාගමනයත් සමඟ ඇති වු නව ප‍්‍රබෝධය නිසා සම්භාව්‍ය චිත‍්‍ර කාලවක් පිළිබඳ අධ්‍යයනයට අවධානය වැඩි විය. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර පිළිබඳ මුල් කාලීන වාර්තා සපයන ලද්දේ ජොන් ස්ටිල්, එච්.සී.පී. බෙල්, ආර්.එල්. ස්පිට්ල් වැනි යුරෝපීය ජාතීන් විසින් දුෂ්කරතා වලට මුහුණ දෙමින් සිදුකළ ගවේෂණ මගිනි. සිතුවම් පැහැදිළිව ඡායාරූපගත කිරීමට පහසුකම් නොවු අතර නොයෙක් ප‍්‍රදේශ වලින් හමු වු සිතුවම් වල අන්තර්ගතය පිළිබඳ සන්සන්දනාත්මක විග‍්‍රහයකට යොමු වුයේ නැත. ශී‍්‍ර ලාංකේය ප‍්‍රාග් මානවයා සිතුවම් ඇඳ ඇත්තේ දඩයම සාර්ථක කර ගැනීම සහ අභිචාරාත්මක සංකල්පය මත බව යුරෝපය තුළ මතයක් ගොඩනැගී තිබේ. මෙරට යටත් විජිතයක්ව පැවත නිදහස ලැබීමෙන් පසු ඇති වු නව පිබිදීමත් සමග ජනයා තුළ වර්ධනය වෙමින් පැවති හැඟීම වුයේ අධිරාජවාදීන්ට වඩා ශ්‍රේෂ්ඨ අතීතයක් මෙරට ස්ථාපිතව තිබු බවයි. දාගැබ්, සදකඬපහන, සෙල්ලිපි, බිතුසිතුවම් ආදි වර්ධිත අවස්ථා රටේ ශ්‍රේෂ්ඨත්වය විදහාපැමට මතුකර දැක්වීය. ජාතික මානසිකත්වය හැකිතාක් වේගයෙන් ගොඬනගන තේමා ඉතිහාසයෙන් සොයා ගැනීමට අවශ්‍ය විය. මෙබදු හේතු ගණනාවක් නිසා ශී‍්‍ර ලාංකේය ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර වලට හිමිවිය යුතු නිසි තැන අහිමි විය. වත්මන් ලෝකයේ පොදු පිළිගත් මතය වී ඇත්තේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර එම යුගයේ මිනිසුන්ගේ සමාජ සංස්කෘතික හා අධ්‍යාත්මික ජීවිතය පිළිඹිබු කරන නිර්වාචික සන්නිවේදනයේ සංකීර්ණ ප‍්‍රකාශන බවයි.

6. විෂයයික හා න්‍යායාත්මක රාමුව

කන්දේගම ප‍්‍රාකෘතික ශෛල සිතුවම්

ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර පිළිබඳ මුල්ම අධ්‍යයයන සිදු කොට ඇත්තේ යුරෝපයට අයත් රටවල පවතින ගුහා ආශ‍්‍රයෙනි. ස්පාඤ්ඤයේ අල්ටමීරා, මෙරෙල්ලා දෙලා, උතුරු ස්පාඤ්ඤයේ කෝගුල් ගුහාව, ප‍්‍රංශයේ ලැස්කෝ, දොරදොන් හා මැගිලින් ගුහා වෙත්, මධ්‍යම පීරනිස් කදුවල පිහිටි ට්‍රොයිස් ප‍්‍රයිස් ගුහාවෙත් ඇති සිතුවම් ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ පැහැදිළි චිත‍්‍රණයකට සාක්‍ෂි සපයයි. අපි‍්‍රකාවේත්, ඕස්ටේ‍්‍රලියාවේත්, ඉන්දියාවේ බිම්බෙත්කා (Bhimbetka) ප‍්‍රදේශයේ පිහිටි ගුහා ආශී‍්‍රතවත්, ශී‍්‍ර ලංකාවේ කෑගල්ල දිස්ති‍්‍රකයට අයත් දොරවක කන්ද හෙවත් ඇතාබැඳි ලෙනේත් ඇති සිතුවම් පුරාවිද්‍යා අධ්‍යනයට ලක් වී ඇති අතර ඒවා ප‍්‍රාග් ඓතිහාසික යුගය නියේජනය කරන බව තහවුරු කරගෙන ඇත. තන්තිරිමලේ, බිල්ලැව, රජගල කන්ද, මෑත කාලීන ව පඩිවෙට්ටුමෙලෙයි… ආදී ශි‍්‍ර ලංකාවේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර ඇති ස්ථාන හදුනාගෙන ඇත. මේ අතර ලෝකයේ එක් එක් ප‍්‍රදේශ වලට අනන්‍ය වූ සිතුවම් ශෛලීන් දැකගත හැක. මෙවන් පසුබිමක් තුළ කන්දේගම කන්ද ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර පිළිබඳ ලොවට හෙළි කිරීම වැදගත් බව පෙනීයයි. මෙතෙක් බෝහෝ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර පිළිබඳ කරන ලද අධ්‍යයන පුරාවිද්‍යා විෂය ක්‍ෂේත‍්‍රය ආවරණය වන පරිදි සිදුකොට ඇති බව පෙනීයන කරුණකි. ජනසන්නිවේදන බහුවිෂයික පදනමක් සහිත විෂයක් වන අතර පුරාවිද්‍යාවෙන් ද එය පෝෂණය ලබයි. මෙම අධ්‍යයනයේ දී කන්දේගම කන්ද ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර පිළිබඳ වැඩි වශයෙන් සන්නිවේදනාත්මක හා සංස්කෘතිකාර්ථයයෙන් විශ්ලේෂණය කිරීමට අපේක්‍ෂිතයි.

7. අධ්‍යයන ක‍්‍රමවේදය

පර්යේෂණයේ දත්ත එක්රැස් කිරිමේ දී ප‍්‍රාථමික හා ද්විතීක මුලාශ‍්‍රයන් භාවිත කරමින් විෂය ප‍්‍රවීනයන් සමග සම්මුඛ සාකච්ඡා කිරීමත්, ක්‍ෂේත‍්‍ර ගවේෂණය මගින් දත්ත රැස්කිරීමත් මුලික ව සිදුකරන ලදී. සන්නිවේදන පර්යේෂණ වල දී රූප (Visual) වලින් ධ්වනිත කෙරෙන අර්ථ නිරීක්‍ෂණය සඳහා අන්තර්ගත විශ්ලේෂණය (Content Analysis) භාවිත කරනු ලබයි. මේ පිළිබද ඇති ආතර් බර්ගර් ගේ විග‍්‍රහය උපයෝගී කරගනු ලැබේ. ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර ප‍්‍රාග් ඓතිහාසික යුගයේ නියෝජනයක් ලෙස පුරාවිද්‍යවේ කාලනිර්ණ වල දැක්වේ. ජනසන්නිවේදනයේ දී අදහස් ප‍්‍රකාශනය විග‍්‍රහ කිරීමට භාවිත කෙරෙන අන්තර්ගත විශ්ලේෂණ ක‍්‍රමවේදයට ප‍්‍රාග් ඓතිහාසික හෝ නුතන ආදී වශයෙන් කාල පරාසයන් අදාළ නොවේ. අන්තර්තයේ වර්ණ, රේඛා, හැඩතල, රූප සංරචනා හා සංඥ ආදිය අවධානයට ගැනේ.

8. අරමුණ

කථිත භාෂාවක් නොතිබු ප‍්‍රාග් ඓතිහාසික යුගය තුළ සිමීත සන්නිවේදනය ක‍්‍රමවේද භාවිත කළ ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික මානවයා ශෛල සිතුවම් නිර්මාණය කරමින් සම කාලීන ලෝකයේ වෙනත් පෙදෙස් වල ජීවත් වූ මානවයන්ට වඩා වෙනස් නිර්මාණශීලී සන්නිවේදන උපක‍්‍රම භාවිත කළ බව අනාවරණය කිරීම අරමුණ වේ.

9. කන්දේගමකන්ද ආශි‍්‍රතව අනාවරණය වන ප‍්‍රාකෘතික ශෛල සිතුවම්

කන්දේගම කන්ද මුදුනේ ගල් ගුහාවක හා ගල් ආවරණයක ප‍්‍රාකෘතික ශෛල සිතුවම් අන්තර්ගත වේ.

9.1 කන්දේගමකන්ද ගල්ගෙය

ගල් ගුහාවක් (Rock Cave) ලෙස හදුනාගත හැක. බටහිර දිශාවට මුහුණලා ස්වාභාවිකව පිහිටි ගල් දෙකක් අතරින් පිවිසිමේ දොරටුව පිහිටා තිබේ. වන සතුන්ගෙන් ආරක්‍ෂා සහිත ස්වාභාවික පිහිටීමක ලක්‍ෂණ ගුහාව තුළ දක්නට ලැබේ. දැනට සුරක්‍ෂිත වී ඇති සිතුවම් වල අංකිත (Digital) ඡායරූප දක්වා අැත. මෙලෙස වස්තුවිෂය වු සියලු සිතුවම් උත්කීර්ණ (Engraving) ශිල්ප ක‍්‍රමය මගින් කළ නිර්මාණ වේ. සමස්ත සිතුවමේ ප‍්‍රධාන වස්තුවිෂය ලෙස සැලකිය හැකි සිවුපා සත්ත්වයා ගේ බාහිර රේඛා සටහන් වල සුදු වර්ණය පැවති තැවරූ බවට ශේෂ වු සාධක සිතුවම තුළ පවතී. සත්ත්වයගේ ශරීරයේ විසිරුණු රේඛා දක්නට ලැබේ. සත්ත්වයාට පසුබිමේ V හැඩයේ සංකේත රාශියක් මගින් නිරූපනය කිරීමට උත්සහ කරන්නට ඇත්තේ ස්වාභාවික පරිසරය යැයි උපකල්පනය කිරීම යුක්ති යුක්ත වේ.

9.2 කන්දේගම කන්ද ගල් ආවරණය (Rock Shelter)

මෙම සිතුවම් සහිත ස්ථානය ගල් ගෙයට යාබදව පිහිටා තිබේ. මෙහි යුග දෙකක් නියේජනය කරනු ලබන සිතුවම් අන්තර්ගත වේ. දකුණු හා වම් ගල් බිත්ති දෙකේ ම මෙම සිතුවම් දක්නට ලැබේ. වර්ධික ලක්‍ෂණ සහිත සිතුවම් අල්ප උත්ත ලෙස නිර්මාණය කර ඇති අතර එය වම්පස ගල් පෘෂ්ඨයේ ස්ථානගත කොට තිබේ. සළුපිළි ඇඟලාගත් ප‍්‍රභූ පැලන්තියේ පුද්ගල රූපයක් ලෙස උපකල්පනය කළ හැක. ස්වාභාවික හේතු හා මානව ක‍්‍රියාකාරකම් නිසා පියවි ඇසට හදුනාගත නොහැකි ලෙස විනාශ වෙමින් පවතී. මෙම සිතුවමට අමතරව ප‍්‍රාකෘතික සිතුවම් ශෛලියෙන් යුත් කුරුටු මානව රූපයක්, ඊ තලයක්, ගල් ආයුධයක්, ඪ හැඩයේ සංකේත දැකගත හැක.

V හැඩයේ සංකේත, ගල් ආයුධය, සළුපිළි ඇඟලාගත් මානව රූපය, කුරුටු මානව රූපය (Stick figures)

10. ප‍්‍රාකෘතික ශෛල සිතුවම් අතර කන්දේගම කන්ද ශෛල සිතුවම් වල විශේෂත්වය

ලංකාවේ ප‍්‍රාකෘතික ශෛල සිතුවම් වල වස්තුවිෂය ලෙස මානව රූප, සත්ත්ව රූප, ස්වභාවික වස්තු, අදහස් ප‍්‍රකාශ නොවන ඡ්‍යාමීතික රූප මෙන් ම දෛනික ජීවිතයේ භාවිත මෙවලම් යොදාගෙන තිබේ. යුරෝපය, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව ආදී ලෝකයේ වෙනත් රටවල තත්ත්වය ද ඊට වෙනස් නොවේ. සෑම කලාවකටම එයට ම අනන්‍ය වු කෘත්‍යයක් පවතී. ලංකාවේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර වල කෘත්‍යයන් පිළිබඳ විවිධ විද්වතුන් නොයෙකුත් අදහස් ප‍්‍රකාශ කර ඇත. වැදි කාන්තාවන්ගේ පාළුව කාන්සිය මඟ හරවා ගැනීමට සිතුවම් ඇදි බව 1911 දී සෙලිග්මාන් යුවළ විසින් වැදි සමාජ පිළිබඳ කළ පර්යේෂණයෙන් අනාවරණය කරයි. සතුන් හා මිනිසුන් අතර පවතීන සම්බන්ධතාව නිරූපනය කිරීම මෙම සිතුවම් වලින් ධ්වනිත වන බව පී.ඊ.පී. දැරණියගල සඳහන් කරයි. ප‍්‍රාකෘතික වැසියන් තුළ පැවති අභිචාරාත්මක සංකල්ප සඵල කර ගැනීම සඳහා මෙම චිත‍්‍ර ඇදි බවට විශ්වාසයක් පවතී. ප‍්‍රංශ ජාතික මානව විද්‍යාඥ Andre Leroi Gourhan ගේ අදහස Hunting Magic හෝ Killing Magic යන්නයි. මෙම අදහස අභිචාරාත්මක සංකල්පය තුළ ගැබ්ව පවතී. විවිධ අර්ථකථන පදනම් කොට රොබට් ඈෂ් (Robert Ascher) විසින් පිළිගත හැකි අදහසක් ඉදිරිපත් කොට තිබේ. සතුන් හා මිනිසුන් අතර පවතින අනේ්‍යාන්‍ය යැපීම (Interdependence) මෙම සිතුවම් වලින් අර්ථ ගැන්වෙන බවයි. ගල් පෘෂ්ඨයක ඇදි සිතුවමක් විශ්ලේෂණය කිරීමේ දී එහි අන්තර්ගත එක් එක් වස්තුවිෂය පාදක කොට විවිධ අර්ථ සැපයිම සිදුකෙරේ. එක ම සිතුවමක් ලෙස සමස්ත සංරචනයම පාදක කොට අර්ථ විග‍්‍රහ සැපයු අවස්ථා සුලබ නොවේ. නමුත් කන්දේගමකන්ද ගල් ගේ පවතින සිතුවමේ එක් එක් වස්තුවිෂය ව්‍යුක්ත කොට විග‍්‍රහ කළ නොහැකි සංකීර්ණ ස්වභාවයකින් යුක්ත වේ. සිතුවමේ පසුබිම තුළ සංකීර්ණ ලෙස විහිදුණු රේඛා සටහන් මගින් පරිසරය නීරූපනය කොට වඩාත් සිතට සමීප වු මුවෙකු ලෙස සැලකිය හැකි සිවුපාවෙකු එම පරිසරය තුළ සිටින අකාරය ප‍්‍රකාශ කිරීමට යොදාගත් සන්දේශයක් ලෙස කන්දේගම කන්ද ගල් ගේ සිතුවම උපකල්පනය කළ හැක. සමස්ත සිතුවමට වස්තුවිෂය කරගෙන ඇත්තේ එක් සතෙකු පමණි. එම සත්ත්වයා සංරචනය තුළ පොළොව මට්ටමට සමීපව ස්ථානගත කොට තිබේ. V හැඩයේ සංකේත මෙහි පසුබිම නිර්මාණයට පදනම සපයන අතර ගස් වල පත‍්‍ර එම හැඩයෙන් නිරුපණය කළ බව අධ්‍යයනයේ දී අනුමාන කළ හැක. බිත්ති පෘෂ්ඨයේ සිතුවම නිර්මාණය කළයුතු රාමුව පිළිබඳ මනා අවබෝධයකින් හෙබි මෙම මානවයා නොවිසිරුණු ඉලක්කගත වපසරියක් තුළ වස්තුවිෂය පිහිටුවීම සිදු කරයි.

මෙම සිතුවම තුළ නිරූපිත සත්ත්වයා ගේ ශරිර අභ්‍යන්තරය තුළ රේඛා දක්නට ලැබුනත් එමගින් ඇට සැකිල්ල නිරූපනය කළා යැයි අනුමාන කළ නොහැක. සතෙකු ගේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් නිරූපනය කිරීම පිළිබඳ වැදගත් සාධක ඉන්දියාවේ බිම්බෙත්කා, ඕස්ටේ‍්‍රලියාවේ කාන්හැම් ප‍්‍රදේශයෙන් හමු වේ. අධ්‍යනයට ලක්වන සිතුවමේ පසුබිම මුලින් නිර්මාණය කොට ඒ මතම පසුව සත්ත්වයාගේ රූපය ස්ථානගත කරන්නට ඇත. සමස්ත සිතුවමේ වර්ණ තැවරීම කර ඇත්තේ සත්ත්වයා නිරූපිත රේඛා සටහන් වල පමණි. මෙම වර්ණ ගැන්වීමේ විශේෂත්වය වන්නේ සිතුවම තුළ සත්ත්වයා ගේ රූපය මතුකර පෙන්වීමට ගත් උත්සහයයි. ලංකාවේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර ඒක වර්ණ (Monochrome) ස්වරූපයෙන් නිමවා තිබිම විශේෂත්වයකී. වර්ණ කිහිපයක් සහිත ප‍්‍රාකෘතික ශෛල සිතුවම් ද ලංකාවේන් හමුවී තිබේ. කන්දේගම කන්ද ගල් ගේ සිතුවම තුළ දක්නට ලැබෙන්නේ සුදු වර්ණය පමණක් යෙදු (Monochrome) ස්වරූපයයි. සිතුවමේ එක් පසෙක ගල් ආයුධයක් අන්තර්ගත වුවත් දඩයම් කිරීමේ අරමුණක් සන්නිවේදනය නොවේ. මෙම සමස්ත සිතුවම උත්කීර්ණ කිරීම සඳහා එය උපයෝගී කරගත් බව හඟවන්නට ගත් උත්සහයක් විය හැක. මෙවැනි ගල් ආයුධයක් ශ‍්‍රී ලංකාවේ සෙසු ප‍්‍රාකෘතික ශෛල සිතුවම් අතර දැකගත නොහැක. කන්දේගම කන්ද ගල් ගේ සිතුවම ඊටම ආවේණික ලක්‍ෂණයන්ගෙන් යුක්ත ගුණයක් උරුමකරගෙන සිටී.

තියුණු ගල් ආයුධය, V හැඩයේ සංකේත, ඊ තලය (මෙම ඊ හිසට සමාන ඊ හිසක් පඩිවෙට්ටුමෙලෙයි ශෛල සිතුවම් වල දක්නට ලැබේ.)

1. සිතුවම තුළින් පර්යාවලෝකනය පිළිබද අදහස මතුකර ගත හැකිවීම

2. නිර්වාචික නිර්මාණශීලී සන්නවේදනයෙන් පොහොසත් සිතුවමක්වීම

3. නිශ්චිත ඉසව්වක් තුළ රූප සංරචනයක් දැකගත හැකිවීම

4. ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග් මානවයාගේ උසස් පරිකල්පන ශක්තිය විදහාපාන සිතුවමක්වීම

5. ඉන්දියාවේ බිම්බෙත්කා හා ඕස්ටේ‍්‍රලියාවේ කාන්හැම් ප‍්‍රදේශයේ ප‍්‍රාකෘතික ශෛල සිතුවම් වල සතෙකුගේ අභ්‍යයන්තර ඉන්ද්‍රියන් දැක්වීමත් යුරෝපයේ දී පරිසරයෙන් ව්‍යුක්ත කරගත් පරිපුර්ණ සතෙකු දැක්වීමත් ඒ ඒ ප‍්‍රදේශ වලට අනන්‍ය ලක්‍ෂණ වේ. ඒ අනුව, ස්වාභාවික පරිසරයක සතෙකු සිටින ආකාරය දැක්වීම කන්දේගමකන්ද ගල් ගේ සිතුවමටම අනන්‍ය වූ ලක්‍ෂණයකි. දුරස්ථ හා සමීප බව මතුකිරිමට වර්ණ පර්යාවලෝකනය සිතුවම තුළ භාවිත කර තිබේ. ශ‍්‍රී ලංකාවේ සෙසු ප‍්‍රාකෘතික ශෛල සිතුවම් ඇදී මානවයාට වඩා ප‍්‍රකාශනාර්ථයෙන් පොහොසත් මානවයෙකු ඇදී සිතුවමක් බව උපකල්පනය කළ හැක. මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයන සිදුකෙරෙමින් පවති.

ලෝකයේ බොහෝ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍ර පවතින ස්ථානය වල මානව හෝ සත්ත්වයන්ගේ සැකිලි රූප (Stick Figars) හමු වේ. සංකීර්ණ හැඩතලයක මුලික සැකිල්ල ඇඳිමේ ශිල්පීය ඥානය සෑම ප‍්‍රාග් මානවයෙක් තුළම තිබුණ බව සනාථ වේ. එයට කන්දේගම කන්ද ගල් ආවරණය තුළ ඇති කුරුටු මානව රූපය ද සාක්‍ෂි සපයයි. මෙම සිතුවම් නිර්මාණ සඳහා භාවිත ශිල්ප ක‍්‍රමය වනුයේ ද උත්කී්රණ ශිල්ප ක‍්‍රමයයි.

ස්තූතිය

  • විහාරාධිපති පුජ්‍ය මාවනැල්ලේ සිරසාලංකාර හිමි, කන්දේගම ධනංජය රජමහවිහාරය.
  • කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක, ජනසන්නිවේදන අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.
  • කථිකාචාර්ය සුදර්ශන බණ්ඩාර, ලලිතකලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.
  • කථිකාචාර්ය චන්දිම අඹන්වල, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
  • මහින්ද කරුණාරත්න, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.
  • අමිල ජයසූරිය, ස්වාධීන රූපවාහිනි සේවය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • දයානන්ද බිනරගම (1999), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික චිත‍්‍ර කලාවෙන් සම්භාව්‍ය චිත‍්‍රකලාවට පිවිසිම, සංස්කෘතික පුරාණය, 3 වැනි වෙළුම 1999 ජනවාරි – මාර්තු සංස්කෘතික ති‍්‍රකොණය, පිටුව 45.
  • පියදාස රෝහන ලක්‍ෂ්මන් (1998). සන්නිවේදන විමර්ශන, මාධ්‍ය හා සංවර්ධනය පිළිබඳ කේන්ද්‍රය.
  • මහේන්ද්‍ර සුනන්ද (2007). සන්නිවේදන ගවේශන, කොළඹ, ගොඩගේ සහ සහෝදරයෝ.
  • මහෙන්ද්‍ර සුනන්ද (1999) සන්නිවේදන ක්‍ෂේත‍්‍රය හා ජනසන්නිවේදනය, කොළඹ, ගොඩගේ.
  • විජේසේකර නන්දදේව (2003). වැද්දන්ගේ විකාශන ක‍්‍රමය, කොළඹ, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශන.
  • ඤණරතන හිමි වලස්වැවේ සංස්. ඩබ්.එම්.ජි. සුදර්ශන බන්ඩාර., (2007). ශි‍්‍ර ලංකාවේ ප‍්‍රාකෘතික ශෛල චිත‍්‍රකලාව, සම්භාෂා,15 වැනි කලාපය, අධ්‍යපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යපන ශාඛවේ ප‍්‍රකාශන.
  • Bahn Paul G. (1998), Prehistoric Art, Cambridge University Press.
  • Bell H.C.P. (1904), Annual Report 1896 “Archaeological Survey of Ceylon, North –Central, Sabaragamuwa And central provinces, Government printer, Ceylon Introdution
  • Deraniyagala P E P (1954) Stone Age Ceylon, Journal Of the Royal Asiatic Society ( Ceylon Branch) New Series, Governmennt Printers, Colombo
  • Lorblanchest Michel., (1992). Rock Art in the Old World, Indira Gandhi National Centre for the Arts.
  • Nandadeva, B.D., (1981). Rock Art of Sri Lankan, Journal of Humanities and Social Sciences Of the University of Kalaniya, Vol : VII and VIII
  • Nandadeva Wijesekara, (1964). Vaddas in Transition .M D Gunasena & Co Ltd Colombo
  • Senaka Bandaranayake., (1986) The Rock & Wall Paintings of Sri Lanka p 9
  • B.D. Nandadeva, 1986 Rock Art Sites of Sri Lanka : a Catalogue” , Ancient Ceylon, No 7 ed & Published The Commissioner Of Arachaeolgy Department of Archaeology, Colombo
  • Sunil Goonasekara, (1991). George Keyt Interpetations, Institute of Fundamental Studies, Hantana, Kandy.

(මෙම ලිපිය පළමු වරට 2012 වසරේ දී පමණ මෙම වෙබ් අඩවියේ පළ වූවක් බැව් කාරුණික ව සලකන්න.)

මහනුවර, මැදවල රජමහා විහාරය

මහින්ද මධුමාධව කරුණාරත්න

පර්යේෂණ නිලධාරි, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ මැදවල රජමහා විහාරය ස්ථානගතව (7° 21’ 21”  හා 80°  33’ 49” ඇත. මහනුවර-දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 1.5ක පමණ දුරක් ගමන් කොට මෙම විහාරයට ළඟාවිය හැකිය.  සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරක් වන මැදවල විහාරය පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා යටතේ පරිපාලනය වෙයි. මෙම විහාරය මහනුවර යුගයේ ජනප්‍රිය ස්ථානයක්ව පැවැති බව එ් සමයේ ප්‍රචලිත ආධ්‍යාපනික ග්‍රන්ථයක් වූ “විහාර අස්න හෙවත් නම් පොතේ” සඳහන් වී තිබීමෙන් පැහැදිළි වෙයි. ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි. විහාරස්ථාන ඉතිහාස විවරණයේ දී භාවිත කළහැකි ලිඛිත පුරාවිද්‍යා මූලාශ්‍ර දෙකකි. ඒ විහාරස්ථාන මළුවේ දක්නට ඇති “මැදවල ශිලාලේඛනය” හා “මැදවල සන්නස” යන මුලාශ්‍රද්වයයි. සන්නසට අනුව, විහාරය ඉදිකිරීමේ ගෞරවය කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1755) රජුට හිමි වේ. විහාරස්ථානයේ හමුවන වාස්තුවිද්‍යාත්මක අංගයන්හි කලා ආකෘතික ස්භාවය මත ඓතිහාසික පදනම මහනුවර යුගය දක්වා ගමන් කරන බව පැහැදිලි ය. මෙම නිගමනයට පැමිණීම සඳහා ටැම්පිට විහාරය, බුද්ධප්‍රතිමා ලක්ෂණ හා බිතුසිතුවම් උපකාරි වේ. ආගමික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක, හා සෞන්දර්යාත්මක ආදි අගයන් රැසක් පිළිබිඹු කරන මැදවල විහාරය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශීය ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවෙයි.

DSCF0041
මැදවල විහාරයේ ටැම්පිට විහාරය

ටැම්පිට විහාරය හා නව බුදු මැදුර ජනයාගේ ආගමික ප්‍රතිපදාවන් උදෙසා වැදගත්වෙයි. ටැම්පිට ප්‍රතිමාගෘහය ඉදිරිපස ඇති පොහොය ගෙය භික්ෂූන්වහන්සේගේ විණය අවශ්‍යතා සපුරාලයි. විහාරස්ථානයේ පවතින ටැම්පිට විහාරය දිවයින් වඩාත් ප්‍රචලිත ටැම්පිට විහාරයක් වේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ පොළොවේ තෙතමනය හා වේයන් වැනි කෘමී සතුන්ගේන් දැවයෙන් කළ ප්‍රතිමාගෘහයට වන හානිය අවම කිරීම සඳහා උපක‍්‍රමයක් ලෙස මහනුවර යුගයේ දී ව්‍යප්ත වූ වාස්තුවිද්‍යා නිර්මාණයකි. ටැම්පිට සම්ප්‍රදායට අයත් විහාර කුරුණැගල, කෑගල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්කයන්හි බහුල ව්‍යාප්තියක් පෙන්වයි. වේදිකාවක් මත ගල් කුළුණු 20ක් ඍජුකෝණාස්‍රාකාරව සිටුවා පිළිමගෙයි පාදම සකසා ඇත. ගල්කණු මත හරස් අතට යෙදූ දැව බාල්ක සිරස්, කැටයම් සහිත  දැවකණු 16ක් සිටුවමින් ගෘහරාමුව තනාගෙන ඇත. එම ලී කණු සිට අඩි කිහිපයක ඉඩක් ශේෂකරමින් වලිත්ති තාක්‍ෂණය අනුව ඍජුකෝණාශ‍්‍රාකාර පිළිම ගෙය නිර්මාණය කර ඇත. එක් පසෙක දෙපියන් කැටයම් හා චිත්‍ර සහිත දොර නිමවා ඇත. මෙම වලිත්ති බිත්ති හා චංකමණය ඔස්සේ ගමන්කරන දැව කණු උපයෝගි කරගනිමින් මහනුවර යුගයට අයත් පියස්ස නිමවා ඇත. පෙති උළු භාවිත කරමින් සාම්ප්‍රදායික රටා සහිතව පියස්ස සකසා ඇත. චංකමණය වටා ගමන්කරන දැවකණු යාකරමින් බීරළු වැටක් නිමවා ඇත. මෙම මළුවට ඇතුළු වීම සඳහා දැව පඩි කිහිපයක් සකස්කර ඇත. පිළිමගෙයට පිවිසීමට ඇති දැව ද්වාරය දෙපස අල්පෝන්නත මුරභටයන් දෙදෙනකු නිරූපණය කොට ඇත. මහනුවර ශෛලියේ අලංකරණ රටා මඟින් සරසණ ලද ද්වාරයෙන් පිවිසෙනවාත් සමඟම දර්ශනය වනුයේ භූමිස්පර්ෂ මුද්‍රාව මුද්‍රව නිරූපණය බුදුරජාණන් වහන්සේගේ ගිරිගරුඩ බුදුපිළිමය හා අලංකාර මකර තොරණයි. පිළිමයේ ශෛලිය මහනුවර කලා සම්ප්‍රදායට සමීපය. උස් වූ ආසනයක් මත ප්‍රතිමාව ස්ථාපනය කොට ඇති අතර ම එම ආසනයේ අංගයක් ලෙස අල්පෝන්නත කැටයම් හා සිතුවම් සහිත  මකරතොරණ, ප්‍රතිමාව පිටුපස නැගී සිටියි. ප්‍රධාන බුද්ධප‍්‍රතිමාව දෙපස කාලවර්ණ දෙවියකුගේ හෝ මුරකරුවකුගේ ප‍්‍රතිමා දැකගත හැකිය. මකරතොරණ මත සතරවරම් දෙවිවරු නිරූපණය කෙරෙයි. ප‍්‍රතිමා අතර හිස් අවකාශයන් පිරවීම සඳහා සිතුවම් භාවිත කොට ඇත. ප‍්‍රධාන ප‍්‍රතිමාව ඉදිරිපස දෙපසින් හිදි ඉරියව් සහිත කුඩා ප‍්‍රතිමා යුග්මයකි. එම ප‍්‍රතිමා පෙර ප‍්‍රතිමාවනට වඩා නූතන ස්වරූපයක් ගෙන ඇති බව පෙනේ. ප්‍රතිමාගෘහයේ සිවිලිම, වම් හා දකුණු, පිටුපස ආදි සියලූම බිත්ති මහනුවර ශෛලයේ සිතුවමින් අලංකාර කොට ඇත. මෙම සිතුවම් මැදවල විහාරයට ජාතික මට්ටමේ කීර්තියක් අතිකර දීමට සමත්ව ඇත. අඛණ්ඩකථන සම්ප්‍රදාය අනුව චිත්‍රණය කොට ඇත. වම්පස බිත්තිය ඉහළ තලය සොළොස්මස්ථාන නිරූපණය කොට ඇති අතර දෙවන තීරුව බුදුපුදට යන රහතන් වහන්සේ නිරූපණය වෙති. දකුණු පස බිත්තිය ඉහලම ඵලකය සත්සතිය ද, දෙවන ඵලකය ජාතක කථා නිරූපණය ද වේ. එහි දී වෙස්සන්තර ජාතකය ප්‍රධාන වේ. ද්වාරය දෙපස බිත්තිය භික්ෂූන්වහන්සේ, ප්‍රභූවරු හා සාමාන්‍ය ජනයා නිරූපණය කෙරෙයි. පිළිමගෙයි දැව සිවිලිම පුරා තුසිත භවණ නිරූපණය කොට ඇති අතර මල්කම් හා ලියකම් ද ප්‍රමුඛ වේ. මෙම බිතුසිතුවම් හායනයට ලක්වන බව හා ලක් වූ ආකාරය හඳුනාගත හැකිය. මෙම සිතුවම් මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණයට ලක්ව ඇත. වර්ණ ධරණ ස්තරයේ කුඩා හා විශාල කුහර (Laquna) දැකගත හැකි ය.  සිතුවම් අතර කුඩා හා විශාල පිපිරීම් දැකගත හැකි ය. විශේෂයෙන්ම සීලිම ආශ‍්‍රිතව තෙතමනය මඟින් ඇතිකරන හායනයට ලක්වෙමින් පවතී. වේයන් වැනි කෘමීන් මඟින් දැවමය ද්වාරයට හානිකිරීමට උත්සහ දරා ඇත. මෙවැනි හායනකාරී තත්ත්වයන් වැලැක්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සංරක්ෂණයේ දී ද උත්සාහ කොට ඇති බව පෙනේ.

DSCF0050
වාහල්කඩ

ටැමිපිට විහාරය ඉදිරිපස භික්ෂූන් වහන්සේ විණයකර්ම සිදුකරන පොහොයගෙය ස්ථානගතව ඇත. මෙය මහනුවර හා ලංදේසි ශෛලයේ වාස්තුවිද්‍යා ලක්ෂණ එකට මුසු වූ නිර්මාණයකි. උස් වූ පිල හා පියස්ස මහනුවර ශෛලය ද,  බිත්ති හා කුළුණු ලංදේසි ආභාසය ද නිරූපණය කෙරෙයි. ගොඩනැගිල්ල වටා සීමාගල් ස්ථාපනය කොට ඇත. ටැම්පිට විහාරය, පෝයගෙය හා නව ප‍්‍රතිමාගෘහයට ප‍්‍රවේශවීම සඳහා ඉදිකොට ඇති විශේෂ වාස්තුවිද්‍යාත්මක අංගයක් ලෙස වාහල්කඩ දැක්විය හැකිය. මෙය ද මහනුවර හා ලංදේසි වාස්තුවිද්‍යා ශෛලයේ බලපෑම සහිතව නිර්මාණය කර ඇත. ඍජුකෝණාස‍්‍රාකාර හැඩයක් ගන්නා වූ වාහල්කඩ සඳහා ප‍්‍රවේශවීමට ගල් පඩිපෙළක් භාවිතයට ගෙන ඇත. මදක් උස් වූ පාදමක් මත ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ඉදිරිපස හා දෙපස බිත්ති සම්පූර්ණයෙන් ඉදිකොට ඇති අතර පිටු පස බිත්තිය කොට බිත්තියකි. ද්වාරය දෙපස රවුම් හැඩැති ලංදේසි ආභාෂය දනවන කුඵණු 2කි. ඉදිරිපස බිත්තිය අතරින් ප‍්‍රවේශයයි. එය  මකර තොරණකින් අලංකාර කරන ලද ලංදේසි ආරුක්කුවක් වේ. මහනුවර ශෛලයේ පියස්ස සඳහා පෙති උළු භාවිත කර මනබදින රටා නිරූපණය කරයි. අතීත කාලයේ භික්ෂූන්වහන්සේගේ ගමනාගමන කටයුතු සඳහා භාවිත කිරීමට ඇතැයි සිතිය හැකි පැලැක්කියක් ද මෙම වාහල්කඩ තුළ ප‍්‍රදර්ශනයට තබා ඇත. මැදවල විහාරස්ථානයේ භික්‍ෂු ආවාස ගෘහය ද වාස්තුවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයකි. මැදමිදුලක් සහිත ආවාසගෘහයේ ඉදිරිපස පසුකාලීනව විපර්යාසයනට ලක් ව ඇත. ආවාසයේ මැදමිදුල අටුව තැබීම සඳහා භාවිත කරයි. කන්ද උඩරට සෙන්කඩගල නුවර පිහිටි මැදවල විහාරය වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්ම, සෞන්දර්යාත්මක හා ආගමික අගයන් ප‍්‍රකාශකරන අගනා සිද්ධස්ථානයක් ලෙසින් ආරක්ෂාකොට මතුපරපුර වෙත ලබාදීම අත්‍යවශ්‍ය සමාජවගකීමක් වන්නේ ය.

DSCF0014
මැදවල විහාරයේ බිතුසිතුවම් – වෙස්සන්තර ජාතකය
DSCF0027
මැදවල විහාරයේ බිතුසිතුවම් – උරග ජාතකය

විහාරාධිපති : පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමි, මැදවල රජමහාවිහාරය, මැදවල.
ඡායාරූප : චන්දිම අඹන්වල

බුදුහාමුදුරුවෝ යක්‍ෂයින් ගිරි දිවයිනට පලවා හැරිය ද?

එච්. ජී. දයාසිසිර

මානවවිද්‍යා පර්යේෂණ සම්බන්ධීකාරක

බුදුහාමුදුරුවෝ බිම්තැන්නට වැඩල එහි සිටි යක්‍ෂයින් ගිරි දිවයිනට පලවා හැරිය බව වංශකතාකරුවන් කියනවා.

“බුද්දිලා ඇත්තෝ සාසන පෝරු ගං පොජ්ජට මං ගච්චන කොට රැදෙව්වේ මේ ඇත්තන්ගේ යක් පොජ්ජල ඇත්තන්ගේ ගෝත්‍ර පොජ්ජෙ මිනිගජ්ජු” බුදු හාමුදුරුවො

වැදි නායක වන්නිල ඇත්තෝ
වැදි නායක වන්නිල ඇත්තෝ

මහියංගණයට වඩින කොට මෙහි සිටියේ අපේ යක්ෂ ගෝත්‍රයෝ මිනිස්සු ඌරුවරිගේ වන්නියලැත්තෝ බිම්තැන්නේ ඉඳගෙන ම කියනව ගිරි දිවයිනට පලවා හැරියා නම් මේ යක්ෂ ගෝත්‍රයේ මිනිස්සු බිම්තැන්නේ ඉන්නේ කොහොම ද? මම ඒ ගැනත් වන්නියලැත්තන්ගෙන් ඇහුව.

“කරුකුරු ගච්චන යමක වලින් මාම කැච්චක් බොරු පටෑරල තියෙනව” පොත්වල හරියට බොරු ලියලා තියෙනවා. ඒ වන්නියලැත්තන්ගේ අදහසයි.

“අපේ ගෝත්‍ර පොජ්ජෙ මිනිගජ්ජු බොරු පටාරිනව කොදුයි” අපේ ගෝත්‍රෙ මිනිස්සු බොරු කියන්නේ නැහැ. වන්නියලැත්තන් එහෙම කීවට වංශකතා ලීව භික්ෂුන් වහන්සේලා බොරු ලියාවිද? මට හිතුන. ඒත් මේ වංශකතා ප්‍රවෘත්තිය ගැන සැකසංකා මගේ සිතෙත් නැතුවා නොවෙයි.

බුදුරදුන් යකුන් පලවා හැරිය ගිරි දිවයින මලය රටේ හෙවත් කඳුකරය බව ඉතිහාසඥයන්ගේ මතයයි. එසේ නම් යක්ෂ ගෝත්‍රිකයන් වන වැදිජනයා දැකීමට අප යා යුත්තේ බිම්තැන්නට නොව දළදා සමිදු වැඩ සිටින මහනුවරටයි.

බුදුරදුන්ගේ ජීවන ප්‍රවෘත්ති අනුව උන්වහන්සේ ආළවක, ගද්‍රභ වැනි යක්‍ෂයින් පමණක් නොව නාලාගිරි වැනි තිරිසන් සතුන් පවා දමනය කළේ කරුණාව, ඉවසීම, මෛත්‍රිය වැනි මානුෂික ගුණාංග වලිනි. ලංකාවේ යකුනට වෙනස් ආකාරයට අමානුෂික ලෙස සැළකුවාද? සිය සිරුරෙන් ගිනිදැල් විහිදුවන විට එම පීඩනයෙන් යකුන් බිය වී පලා ගිය බව වංශකතා කියයි. මෙය ගෙවල් ගිනි තබා මිනිසුන් එළවන දේශපාලන මැරයෙකුගේ ක්‍රියා කලාපයට සමාන වෙයි. බුදුරදුන් වැනි ශාස්තෘවරයකු අශිෂ්ට මිනිසුන් ශිෂ්ට කරනු මිස ඔවුන් වාස භූමියෙන් පලවා හරිද? මෙය බුද්ධ චරිතයට නිගා දෙන ප්‍රබන්ධයක් බව මට හැඟෙයි.

ආදීවාසීන් (වැදිජනයා) පමණක් නොව මහියංගණ අවට දැන් සිංහල බෞද්ධ යැයි සළකන ගැමියන් ද යකුන් ඇදහීම කරති. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ මුලික විශ්වාසය මිය යන පුද්ගලයන් “නෑ යකුන්” වන බවයි. මෙම විශ්වාසය ඌවේ බොහෝ සිංහල බෞද්ධ ගැමියන් අතර ද මුල් බැසගෙන ඇත. බුදුන් වැඩම කර වසර දෙදහස් පන්සියයකට වඩා ගත වී ඇති නමුත් යකුන් ඇදහීම තවමත් ප්‍රධාන සංස්කෘතික ලක්‍ෂණයක් ලෙස පවතින්නේ ඇයි?

බිම්තැන්නේ පිරිත් දේශනා කිරීමට භික්ෂුන් වහන්සේලා බිය වු බව කොටගම වාචිස්සර හිමියන් සිය “වැලිවිට සරණංකර සංඝරාජ චරිතය” කෘතියෙහි සදහන් කරයි. ඊට හේතුව ලෙස දක්වන්නේ යකුන්ට තිබු බියයි. බුදුරදුන් යකුන් පළවා හැරියා නම් බුද්ධ පුත්‍රයන් බිය වන්නේ කුමකටද?

Kelaniya Temple-Solias Mendis-Mahiyanganaya-Yaksha-Sri Lanka
බුදු රදුන් විසින් යක්ෂයින් ගිරි දිවයිනට පළවා හැරීම, සෝලියෙස් මෙන්ඩිස් විසින් අදින ලද මෙම සිතුවම කැලණි විහාරයේ අභිනව බුදුමැදුරෙනි (මෙම ඡායාරූපය http://www.panoramio.com වෙබ් අඩවියෙන් සංස්කරණ සහිතව උපුටා ගන්නා ලදි.)
*  මෙම කෙටි සටහන දඹානේ වැදිනායක උෟරුවරිගේ වන්නියලැත්තන්ගේ අදහස් අනුව සැකසී ඇත.

වෛකල්පිත කලාකෘති : ශ්‍රි ලංකාවේ පුරාණ දෘශ්‍ය ප්‍රකාශන කිහිපයක්

රාජ් සෝමදේව

මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.

කලාත්මක නිර්මාණ සම්බන්ධයෙන් සහස්‍රක වර්ෂ දෙකකට ආසන්න ඓතිහාසික සම්ප්‍රදායයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. අප දැන් තේරුම්ගෙන ඇති පරිදි එම සම්ප්‍රදායට අයත් කලාකෘතීන් වැඩිමනක් ආගමික සංයුතියට අයත් වන අතර ඊට සමාන්තර වන පරිදි ම ‍භෞතික අර්ථයෙන් යුත් ප්‍රභූ කලාවක් ද එ සමයෙහි පැවතිණි.

1. මේ ප්‍රවාහ‍ දෙක අතර තිබිය යුතු පොදු ජනතාවගේ වින්දනය හෝ ප්‍රකාශනය පිළිබිඹු කෙරෙන ජන කලාවන් පිළිබඳ අපගේ දැනුම ආගමික හා ලෞකික ප්‍රභූ කලාවට සාපේක්ෂව ප්‍රමාණවත් නොවේ.
2. ඓතිහාසික යුගයට අයත් ප්‍රතිමා චිත්‍ර හා වාස්තු විද්‍යාව පළිබඳව ලියැවුණු ප්‍රමාණවත් සාහිත්‍යයක් අප‍ට තිබේ.

මෙම ලිපිය අරමුණු කොටගෙන ඇත්තේ එසේ අවධාරණාත්මක ලෙස සාකච්‍ජාවට ලක් නොවූ විෂයයක් හදුන්වා දීමය. එම විෂය මෙම ලිපියේ හඳුන්වා දී ඇත්තේ වෛකල්පික කලාව යන පදයෙනි. මෙම පදය මින් පෙර භාවිත වූ සම්මත පදයක් නොවේ. එමෙන්ම එය අදාල කලාත්මක ප්‍රකාශනවල සන්දර්භය හෝ අරමුණු පිළිබඳ විග්‍රහාත්මක අර්ථයකින් යෙදූ පදයනක් ද නොවේ. එය කර්තෘගේම යෙදුමකි. වෛකල්පිත කලාවක් තිබේ නම් ඊට ප්‍රතිපක්ෂව අනිවාර්ය කලාවක් ද තිබිය යුතුයැයි කෙනෙකුට තර්ක කළ හැකිය. වෛකල්පිත යන පදය මෙහි යොදා ඇත්තේ එහි විරුද්ධාර්ථය වූ අනිවාර්ය යන පදයට සාපේක්ෂකව නොවේ. කිසියම් අවස්ථාවක දී කලාත්මක ප්‍රකාශනයක් වෛකල්පිත ලෙස හැදින්වීමට මෙහිදී පාදක වී තිබේ.

ක්‍රිස්තු පූර්ව 300 පමණ සිට මෙවැනි වෛකල්පිත කලාවක් පිළිබඳ නිදසුන් අප සතුව තිබේ. අප කවුරුත් හොඳින් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගයට අයත් පැරණි දෘශ්‍යමය කලාකෘතීන් පිළිබඳ ඉතිහාසය අප විසින් ආනුභාවික ලෙස අවධානයට ගනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් හතරවන සියවසේ පටන්ය. මහඉලුප්පල්ලමෙන් ලැබී ඇති අමරාවතී ශෛලියේ හිටි ඉරියව්වේ බුදුපිළිමයත් ඉන් පසු යුගයකට අයත් සීගිරියේ චිත්‍ර ආවලියත් ශ්‍රී ලංකාවේ දෘශ්‍යකලාව පිළිබඳ අපගේ ඉතිහාසය වෘත්තාන්තයේ ආරම්භක සීමා වේ. දේශීය කලාව පිළිබඳ ඉන් ඔබ්බෙහි වූ අපගේ දැනුම හුදෙක්ම විවිධ යුගවල රචිත සාහිත්‍ය මූලාශ්‍රවල හා ආගමික මූලග්‍රන්ථවල එන සාහිත්‍යමය පැහැදිලි කිරීම්වලට පමණක් සීමාවෙයි (De Silva 1965). වෛකල්පිත කලාව මැයෙන් මෙහි සාකච්ජාවට බඳුන්වන දෘශ්‍යමය ප්‍රකාශන අවධි දෙකකට අයත් වෙයි. එනම් පුරා විද්‍යාඥයින් විසින් පූර්ව ඉතිහාසය යනුවෙන් හඳුන්වන ක්‍රිස්තු පූර්ව 900 සිට ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 300 පමණ දක්වා වූ කාලය එහි පළමු අවධියයි. දෙවන අවධිය එතැන් පටන් ක්‍රිස්තු වර්ෂයෙන් 200 පමණ දක්වා වූ කාලයයි. පූර්ව ඓතිහාසික යුගයට අයත් නොයෙක් ආකාරයේ දෘශ්‍යමය ප්‍රකාශන පිළිබඳ නිදසුන් අප වෙත නිරාවරණය වන්නට පටන් ගන්නේ මහා වසන්ගත ඉතිහාසයෙන් ඔබ්බට දිවයිනේ මනුෂ්‍ය පැවැත්ම පිළිබඳව වූ කුතුහලාත්මක සොයාබැලීම්වල‍ ප්‍රතිඵලයක් ලෙසය. මෙතෙක් අප විසින් වැඩි සැලකිල්ලක් දක්වා නැති එහෙත් මුල් ඓතිහාසික යුගයට අයත් දෘශ්‍යමාන ප්‍රකාශන සෑහෙන ප්‍රමාණයක් පරණවිතාන විසින් පළකොට තිබේ. (Paranavitana 1970:xxv) ඒවා නම් ක්‍රිස්තුපූර්ව 300 හා ඊට පසු සියවස් දෙකක පමණ කාලයක් තුළ භික්ෂු වාසස්ථාන ලෙස පැවති ස්වභාවික ගල්ගුහාවල කටාරම්වලට යටින් කොටවන ලද සෙල්ලිපිවලට ඇතුළු කර ඇති රූ සටහන්ය. සිය සෙල්ලිපි සංහිතාව තුළ එවැනි සංකේත පිළිබඳ ගැඹුරු හා පුළුල් ශාස්ත්‍රීය අවධානයක් යොමු කිරීමට පරණවිතානට අවකාශයක් නොතිබූ මුත් එම සංකේත කෙරෙහි ශාස්ත්‍රීය අවධානය යොමු කිරීමෙහි අවශ්‍යතාව එහිදී ඔහු මුල් වරට අවධාරණය කළේය.

හුදෙක්ම කලාව යනු කුමක්ද යන්න පිළිබඳව සංකීර්ණ නිර්වචන තිබේ (Bhan 1988:xxii). ඒ හැම නිර්වචනයක්ම අවසානයේ දී සමීපවන්නේ කලාත්මක ප්‍රකාශන වූ කලී මිනිසාගේ ‍භෞතික සහ අධ්‍යාත්මික සංවේදනයෙහි සංජානනීය (දෘශ්‍යමය හෝ ශ්‍රව්‍යමය) විමෝචනයකි යන අදහසටය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසා මෙවැනි ආකාරයට සිය ස්ව අභ්‍යන්තරය දෘශ්‍යමය ලෙස ප්‍රකාශ කිරීමෙහි ලා පෙළඹුන ආකාරය මධ්‍ය පුරාශිලායුගයේ සිට වර්ධනය වූ කලාත්මක නිදර්ශන මඟින් පෙන්වා දෙයි. කලාව යනු කුමක්ද යන්න පිළිබඳව මෙවැනි හැඩහුරුකමකින් යුතු නිර්වචනයක් වෙත එළඹෙනවිට එහි විෂය පරාසය අතිශයින් පුළුල් වෙයි. මිනිසා අනාදිමත් කාලයක් තුළ සිය සංවේදනය පිළිබඳ අධ්‍යාත්මික ප්‍රකාශන දෘශ්‍යමාන කරන ලද්දේ විවිධාකාරයෙනි. ලැස්කෝ ගුහාවේ එහි පියස්සේ ඇති අඳුරු අවකාශයක කළ සිත්තමේ සිට අතිශයින් බුද්ධිවාදී ශෛලිගත සම්ප්‍රදායක් තෙක් මිනිසා වර්ණය රේඛාව සහ පදාර්ථය උපයෝගී කර ගනිමින් එකී ප්‍රයත්නයේ නියැලිණ. පසුගිය වසර ලක්ෂයක පමණ කාලය තිස්සේ ස්ථිර මනුෂ්‍ය පැවැත්මක් පිළිබඳ සාධක ඇති ශ්‍රී ලංකාවේ අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව පළමුවන සහස්‍රක වර්ෂයේ මුල් භාගයේ සිටවත් එවැනි මනුෂ්‍ය ප්‍රකාශන පිළිබඳ ආවලියක් ඉතිරි කොට දී තිබේ. ස්තරීහත නාගරික සමාජ පසුතලයකට අ‍වතීර්ණවීමට මත්තෙන් ආරම්භ වී එසේ පවත්වාගෙන ආ එහෙත් ප්‍රමාණවත් අන්දමින් අවධානයට පත් නොවූ  එවැනි ප්‍රකාශන කිහිපයක් මෙම ලිපියේ දී හඳුන්වා දීමට අභිප්‍රේතය.

අර්ථය සෙවීමට පමණක් විද්වත් කුතුහලයට මැදි වූ හුදකලා දෘශ්‍ය ප්‍රකාශන සෑහෙන සංඛ්‍යාවක් ක්‍රිස්තු පූර්ව 900 සිට ක්‍රිස්තු පූර්ව 600 පමණතෙක් කාලවකවානුවලට අයත් කළ හැකි ස්තරවල තිබූ වළං කටුවල කොටා තිබේ. පසුගිය විසිවසරක පමණ කාලය තුළ සොයා ගන්නා ලද රූප සහිත වලං කටු මුළු ප්‍රමාණයෙන් 10%  පමණ දැනට ප්‍රකාශයට පත් වී තිබීමෙන් ඒවා පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමට අප වෙත කිසියම් පෙළඹවීමක් ඇති කරයි. විද්‍යාත්මක හා විශ්ලේෂණාත්මකව බලන විට මෙම ප්‍රමාණය එහි සමස්තය පිළිබඳව සාමාන්‍යකරණයක් තනාගැනීමට තරම් ප්‍රමාණවත් නියැදියක් නොවූව ද  එකී මනුෂ්‍ය ප්‍රකාශනවල ව්‍යුහය ආකෘතිය පිළිබඳ කිසියම් අසම්පූර්ණ හෝ දැනුමක් ලබාගැනීමට දැනට ප්‍රකාශිත නිදර්ශන අපට ඉවහල් වෙයි. බැලූබැල්මෙන්ම මෙම දෘශ්‍ය ප්‍රකාශන ස්වභාවධර්මය නිරූපනය නොකරන එහෙත් ඉන් ව්‍යුත්පන්න වූ ඒවා සේ පෙනෙයි. කලාව වූ කලී මිනිසා විසින් සංජානනය කරන ලද ස්වභාවධර්මය පිළිබඳ ප්‍රකාශනයක් විය හැකිය යනුවෙන් අප විසින් තනාගනු ලබන නිර්වචනයකට මේ ප්‍රකාශන පහසුවෙන් ඈදිය හැකිය. ක්‍රිස්තු පූර්ව 900 සිට 500 අතර කාල වකවානුවකට අයත් කළ හැකි මේ දෘශ්‍යමය ප්‍රකාශන ඒවායේ ශුද්ධ අර්ථයෙන් ගත්කල හැදින්විය හැක්කේ සංකේත යන පදයෙනි. චිත්‍රය යනු වර්ණය හා රේඛාවේ සංකලනයක් නම් මූර්තිය යනු මාධ්‍යය හා ආකෘතියේ සංයෝජනයක් නම් අවකාශයක් තුළ රේඛාව මඟින් ප්‍රකාශිත දෘශ්‍යමය අංගයක් කලාවෙන් පරිබාහිර ස්වාධීන අංගයක් සේ සැලකිය යුතුය යන තර්කය සප්‍රමාණ කිරීම සදහා ගැඹුරු දාර්ශනික ප්‍රවේශයක් අවශ්‍යය. මිනිසා සිය මූලික අවධියේ දී සවිඥානික ලෙස සිය ප්‍රකාශනය එළි දැක්වීමේ දී අනුගමනය කළ ආකාර පිළිබඳ දීර්ඝ විස්තරයක් හවුස(ර්) විසින් අන් තැනෙක පෙන්වා දී තිබේ (Hauser 1989 (ed). :5). එහි දී ප්‍රකාශනය තුළ ගැබ් වී ඇත්තේ ප්‍රකාශනයට පත් කරන වස්තුව පිළිබඳව ඔහු දන්නා දේ බව හවුස(ර්) එහි දී පැහැදිලි කොට දෙයි. එහෙයින් තමා විසින් අනවරතයෙන් සංජානනය කරනු ලබන වස්තුවක ත්‍රිධාවිස්තෘත බව ඒකීය තලයක සංගෘහිත කරන්නට ඔහු පෙළඹෙයි. එවිට එකී ප්‍රකාශන පිළිබිඹුවන්නේ සෛද්ධාන්තික වශයෙන් කෘත්‍රිම හා සංයෝගාත්මක (theoretically synthetic) ආකෘතින් ලෙස මිස දෘශ්‍යමය වශයෙන් සප්‍රාණ (optically organic) නිරූපන ලෙස නොවේ. එබැවින් කලාව පිළිබඳ සම්මත නිර්වචනයෙන් ඔබ්බට ගොස් මෙකී ජ්‍යාමිතික රූපමය ප්‍රකාශන ශ්‍රී ලංකාවේ මූලික කෘෂිකර්මික ගම්මාන පැවති සමයේ විසූ මිනිසුන්ගේ සංජානනය පිළිබඳ ප්‍රකාශන සේ සැලකීමට ධෛර්යමත් විය යුතු යැයි හැ‍‍ඟේ.

rajagalakanda_ampara_primitive rock art_sri lanka
අම්පාර, රජගල ගුහා සිතුවම්

ආකෘති මිනිසාගේ සිත තුළ පිළිසිඳ ගනු ලබන්නේ ඔහු ජීවත්වන කාලය හා අවකාශය ඇසුරුකොටගෙනය. හේතුව හා ඵලය පිළිබඳ තාර්කික අවබෝධයක් එමගින් මිනිස් සිතෙහි ජනිත කරනු ලබන අතර ද්‍රව්‍යය (substance) හා ආදේශන අර්ථය (attribute) පිළිබඳ සුසංයොජනය‍ට අදාල සංජානනය බිහි කරනු ලබන්නේ එ මගිනි. එම්මෑනුවෙල් කාන්ට් සිය ශුද්ධ හේතුව පිළිබඳ විවේචනය (Critique of the pure reason) නම් කෘතියේ දී පැහැදිලිව පෙන්වා දෙන ලද්දේ මිනිසා විසින් නිපදවනු ලබන ආකෘති (Forms) ඔහු ස්වභාවධර්මය සංජානනය කරන ලද ආකාරය පිළිබඳ දෘශ්‍යමාන ප්‍රකාශන බවය (Cassirer 1975 (ed) :9). ප්‍රාරම්භක අවධියේ දී මිනිසා විසින් නිර්මිත දෘශ්‍යමය ප්‍රකාශන සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මේ ආකාරයේ ප්‍රකාශන සෛද්ධාන්තික අදහස් මගින් අප පොළඹවනු ලබන්නේ පෙර කී ශ්‍රී ලංකාවේ යකඩ යුගයට අයත් වළං කටු මත සූරා හෝ කුරුටු ගා ඇති සංකේත ඒවා නිර්මාණය කළ පුද්ගලයාගේ හෝ පුද්ගලයන්ගේ ප්‍රතිනිර්මාණාත්මක ශක්‍යතාව(න්) ඉතිහාසය ගත කරන ලද ඒවා සේ සලකන්නටය. ඉදින් ඒවා එසමයෙහි විසූ මිනිසා විසින් නිමවන ලද කලාකෘතීක් ලෙස සලකනවාට වඩා ඒවා මගින් නිරූපනය කරනු ලබන්නේ තත්කාලීන නිර්මාපකයාගේ තීව්‍ර සන්නිවේදන ආකල්පය හා ඒ වෙත වූ බුද්ධිමය ප්‍රවේශය යැයි කෙනෙකුට ප්‍රතිතර්කයක් නැගිය හැකිය. එසේ වෙතත් එකී ජ්‍යාමිතිකාකාර හැඩතල හා ඇතැම් රූපාකාර යුක්ලීඩිගේ ජ්‍යාමිතික සාධනවල හෝ පෛතගරස්ගේ ලෝක විග්‍රහයේ දැක්වෙන අන්දමේ සමකෝණී ත්‍රිකෝණ දැකීමෙන් අප තුළ ඇති කරවන පැතලි සමතල සංවේදීතාවට වඩා ඔබ්බෙන් වූ හැඟීමක් ජනිත කරවයි. මෙහි පහත ඇති යකඩ යුගයට අයත් රූපාකාර අතුරින් අනුරාධපුර ඇතුළු නුවර 1969 දී කරන ලද කැනීමෙන් දැරණියගල  (Deraniyagala 1972: 124) විසින් ගොඩගන්නා ලද වළං කටු අතර වූ අංක 43, 44, 45, 47 දරන රූප නිසැකයෙන්ම අප වෙත සිහියට නගන්නේ නන්දෙද්ව විසින් අන් තැනෙක පළ කොට මෙහි උපුටා දක්වා ඇති රජගල්කන්දේ පර්වත චිත්‍රවල දැක්වෙන මිනිස් රූප ය (නන්දදේව 1986:201). ඇතුළු නුවර වළං කැබලිවල අදාල රූපයේත් රජගල්කන්දේ මිනිස් රූපයේත් පාද අතරින් පහලට දික්කොට ඇති ලිංගය අධිතාත්වික ලෙස අවධාරණය කරන ලද්දකි. එය නිර්මාපකයා තමා විසින් ප්‍රකාශිත වස්තුව තුළ දකින අත්‍යවශ්‍යම අංගයක් වන අතර එක් අතකින් එය තමා දකින වස්තුවට වඩා තමා දන්නා වස්තුවට අයත් වැදගත් සහ ප්‍රායෝගික අංගය ලෙස නිර්මාපකයා තුළ තිබූ විශ්වාසය අප වෙත පිළිඹිබු කරයි.

කාලයක් තිස්සේ අත්දුටු මේ සංක්ෂිප්ත දෘශ්‍යමය ප්‍රකාශන ආවලියේ පැහැදිලි නිදසුන් අපට පෙනෙන්නට පටන් ගන්නේ මුල් ඓතිහාසික යුගයේදීය. වර්තමාන අපට වඩාත් හුරුපුරුදු යෙදුම්වලින් විස්තර කරන්නේ නම් මේ දෘශ්‍යමාන ප්‍රකාශන ඒවායේ ආකෘතිය අනුව වර්ග 2කට බෙදිය හැකිය. එනම් ස්වභාවවාදී හෝ යථාර්ථවාදී (realistic) දෘශ්‍යමය ප්‍රකාශන හා ශෛලිගත (stylistic) ආකෘතික සම්ප්‍රදායේ ප්‍රකාශන වශයෙනි. එහෙත් මෙහි දෙවන පදය මුල් ඓතිහාසික යුගයට අයත් පූර්වෝක්ත දෘශ්‍යමය ප්‍රකාශන විග්‍රහ කිරීමෙහිලා බුද්ධිමය වශයෙන් සෑහෙන නිර්වචනයක් සපයාදෙන්නේ දැයි විමසිය යුතුය. මිනිසා විසින් අවධි දෙකකදී සිය දෘශ්‍යමය ප්‍රකාශන අමුර්ත (abstract) තලයකට නංවනු ලබයි. ඉන් පළමු අවස්ථාව මින් පෙර ඉහත අවස්ථාවක දී හවුසර් විසින් පෙන්වා දෙන පරිදි සෛද්ධාන්තික වශයෙන් කෘත්‍රිම හා සංයුක්ත ප්‍රකාශනයයි. දෙවන අවස්ථාව හුදෙක්ම සවිඥනික බුද්ධිවාදී සංක්ෂේප ප්‍රකාශනයයි. එසේ නැතහොත් එය සිය සංස්කෘතික මූලයන් මගින් මෙහෙයවන ස්වකීය ආධ්‍යාත්මයේ රුචිඅරුචිකම් පිළිබඳ සවිඥනික උත්සාහයක් හෝ එවැනි ආයාසකර අවස්ථා කිහිපයක් සංකලනය කිරීම පිළිබඳ ප්‍රකාශනයයි. හෙන්රි මුවර් විසින් නිර්මාණය කරන ලද සැතපී සිටින රුව (recumbent figure) නමින් දැනට ලන්ඩන්හි ටේටි ගැලරියේ තබා ඇති මූර්තිය මේ නූතන බුද්ධිවාදී අපේක්ෂා පිළිබඳ අතිවිශාල ප්‍රමාණයක් වූ නිර්මාණ අතර එක් හොඳ නිදසුනකි. මෙම මූර්තිය පිළිබඳ විග්‍රහයක යෙදෙන ගොමි බ්‍රිප් එම මූර්තිය නිර්මාපකයා මිනිස් රූපයක් නිමකිරීමට ගත් තැතක් නොව පදාර්ථයට මිනිස් රුවක් තනාගැනීමට ඉඩහැරීමක් සේ විස්තර කරයි (Gombrige 1993 (ed).: 466) මුවර්ගේ අවසාන අපේක්ෂාව මිනිස් රුව නිමැවීමට අවිඥානික පදාර්ථය යැදීමයි. ඇත්තෙන්ම එය ඔහු විසින් සිය අධ්‍යාත්මයත් පදාර්ථයත් අතර ඇති කරගන්නට අර ඇදි සන්ධානයේ ස්වරූපයයි. මේ ගැඹුරු ආයාසකර ප්‍රයත්නය පිළිබඳ පසුබිම ඉහත කී පරිදි ශ්‍රී ලංකාවේ මුල් ඓතිහාසින යුගයේ කේවල දෘශ්‍යමය ප්‍රකාශන වෙත පැවරීම අර්ථශූන්‍යය. ඊට හේතුව මුවර් මෙන් සිය අධ්‍යාත්මය සමග අතෘප්තිකර ලෙස පොරබදන්නට තරම් ආවේගයක් ජනිත කරලිය හැකි සමාජ ව්‍යාකරණයක් එකල නොවීමයි. අප එකී දෘශ්‍යමය ප්‍රකාශන විග්‍රහ කළ යුත්තේ ඉඩම් වැඩවසම් හෝ අර්ධවැඩවසම් සමාජ ව්‍යුහයක් තුළය. මුවර් හා ඒ සමාන්තර බුද්ධිවාදී සංක්ෂේප නිර්මාණකරුවන් බිහිවූයේ වැඩවසම් ආකල්ප සියල්ලක්ම සුවිසල් යන්ත්‍රසූත්‍රවලින් නැගෙන දුමාරයෙන් නොපෙනී යන සංක්‍රාන්තික අවධියක දී ය. පිකාසෝගේ චිත්‍රවල දක්නට තිබෙන ජ්‍යාමිතික හැඩතල කාර්මීකරණයට පත් වෙමින් පවතින සමාජයක වඩා ප්‍රියතාවකට ලක්විය හැකි ආකෘතික තත්වයක.

Recumbent Figure 1938 Henry Moore OM, CH 1898-1986 Presented by the Contemporary Art Society 1939 http://www.tate.org.uk/art/work/N05387
හෙන්රි මුවර් විසින් නිර්මාණය කරන ලද සැතපී සිටින රුව 1938 (http://www.tate.org.uk/art/artworks/ ෙවබ් අඩවිෙයන් උපුටා ගන්නා ලදී)

මේ විග්‍රහයට එරෙහි වන්නට තනන්නෙකුට පෙන්වාදිය හැකි එක් ප්‍රතිවාදී අංශයක් වන්නේ පිකාසෝ විසින් අප්‍රිකානු ආදිකලාවෙන් ලත් ආභාසයයි. එහෙත් පිකාසෝ අප්‍රිකානු කලාවේ ආකෘතීන් මගින් ලත් සංජානනය අප්‍රිකානු මුල් කලාකෘති නිර්මාණය කළවුන් ඒවායින් ලැබූ සංජානනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූවක් බව අප්‍රිකානු කලාවේ ඉතිහාසය හා සන්දර්භය හදාරන විට පැහැදිලිවෙයි. මුල් අප්‍රිකානු කලාවේ සන්දර්භය ප්‍රායෝගික වශයෙන් අතිශයින් විෂය බුද්ධි වූත් අරමුණු අතින් ඒකාන්තයෙන්ම ඓහලෞකික වූත් ස්වභාවයකින් යුක්ත වු අතර එය උකහාගත් පිකාසෝගේ සන්දර්භය හුදෙක්ම ප්‍රකාශාත්මක හා නිර්මාණාත්මක තලයක විහි දී ගියේය. මූල ඓතිහාසික යුගයට අයත් සහ ඉන්පසු ශතවර්ෂ කිහිපයක් තිස්සේ භාවිතයට පත්වෙමින් තිබූ ඉහත කී දෘශ්‍ය ප්‍රකාශන අතර පෙනෙන ඇතැම් රූකම් ඕනෑම නාගරික සමාජයක හෝ එ වැනි සමාජයන් වෙත සංක්‍රාන්තියක් ලබාගැනීමට ස්වායන්ත ලෙස ස්ඵන්දන වන සමාජයක් තුළ බිහිවිය හැකි ස්වභාවවාදී ප්‍රකාශන මාදිලිය පිළිබඳ හොද නිදර්ශනයකි. ඒවා පිළිබඳ එකිනෙක වශයෙන් දීර්ඝලෙස සාකච්ඡා කිරීම පුළුල් අවකාශයකට අයත්වූවකි. පරණවිතාන විසින් පළකොට ඇති දෘශ්‍යමය ප්‍රකාශනාවලිය මේ සම්ප්‍රදායේ පූර්වපරිණත සමයේ නිදර්ශනයෝය. මේ සියල්ල සර්වසංයුතියක් තුළ අපට පෙනෙන්නේ පරිවර්තනය වෙමින් පවතින සමාජ සන්දර්භයක් තුළ විකාශනයට පත්වෙන සවිඥානික හා ප්‍රතිනිර්මාණාත්මක ප්‍රයත්නයක් ලෙසය.

විකල්ප කලාව යනුවෙන් මෙහි අන්වර්ථ කොට ඇති ඉහත සංවාදයට බඳුන් වූ විෂය පථය හැදෑරීමේ වැදගත්කම් කුමක්දැයි මෙතෙක් සාකච්ඡාවට බඳුන් කළ කරුණු මතින්ම ස්වායත්ත ලෙස එළිදැක් වේ. එහි ප්‍රධාන අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික කලාවේ සීමාවන් අවම වශයෙන් දැනට දන්නා සීමාවෙන් ඔබ්බට තවත් වසර සියගණනක් ගෙන යා හැකි බව පෙන්වා දීමය. එනම් මින් වසර 2,900 පමණ පෙර ශ්‍රී ලංකාවේ මූලික කෘෂිකාර්මික ගම්මානවල විසූ ජනතාව සහ ඉන් වසර 1,000 කට පමණ පසු අවධියක දී නව නාගරික දිවියකට හැඩගැසුණු ජනතාවත් ඔවුන් බුද්ධිමය වශයෙන් විඳදරාගැනීම ප්‍රකාශකිරීම යන සවිඥාණික ප්‍රයත්නයන්හි නියැලුණු ආකාරය පිළිබඳ අසම්පූර්ණ එහෙත් සංජානනීය පුවතක් ඉන් අපවෙත ලබාදෙයි. මේ ප්‍රපංචය දෙස වඩා විවෘත ලෙස දැකීමට නම් කලාව යනු කුමක්ද යන්න පිළිබඳව සිය සංස්කෘතික හුරුපුරුදුකම් වලින් හික්මවන ලද එහෙත් මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව සියුම් හා ගැඹුරු දෘෂ්ටිකෝණයක් අවශ්‍යවනු ඇත.

කුවේණියගේ ශාපය, වැද්දන් හා නවීකරණයේ ප්‍රතිරෝධය

සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය.

සිංහල පරිවර්තනය: පුජ්‍ය වෑතර මහින්ද හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය.

ජන සමුහය සහ පාරිසරික ව්‍යුහය

වැද්දන් මත බලයෙන් හෙළන ලද විනාශයෙහි යථා ස්වභාවය තක්සේරු කිරීමට නම් ඒ ජන කොට්ඨාසය සහ ඔවුන් වසන ස්වභාවික ජනාවාස අතර පවත්නා බැඳීම කෙබන්දක් ඳැයි නිගමනය කළ යුතු වේ. වැද්දන් ආශ්‍රිත ආයතනමය උපරි ව්‍යුහය මුළුමනින්ම රඳා පවතින්නේ වනගත පරිසරය මත ය. වැද්දන් අත්‍යවශ්‍යයෙන් ම අයත් වන්නේ දඩයමේ නියලී අහාර රැස්කරන ජන සමුහයකට යි. හේන් ගොවිතැනින් ජීවත් වන ගම් වැද්දන් සේ ම, මුහුදු වෙරළ ආශ්‍රිත පරිසරයෙහි පිහිටෙන් යැපෙන වෙරළබඩ වැද්දෝ ද වෙති. වැද්දන් ගේ ඉහත දැක්වෙන ස්වභාවය ගෝත්‍රික නැතහොත් සාමුහිකත්ව සම්බන්ධතාව (ෂ්ටැමයිගෙන්ටුම් / Stammeigentum ) හෙළිදරව් වන දඩයමින්, මසුන් මැරීමෙන්, පශු පාලනයෙන් සේම උපරිම වශයෙන් සීමිත ගොවිතැනින් දිවි ගෙවන ජන පිරිස් ආශ්‍රිත අසංවර්ධිත නිෂ්පාදන අවස්ථාවක් නිරූපණය කරන්නකි (Marx & Engels , The German Ideology). ඔවුන්ගේ සමස්ත ජීවන රටාවේ රිද්මය සත්ව-ශාක සහ ස්වභාවික සම්පත් සමගත් ජීවමාන ලෙස ඒකාබද්ධ වී තිබේ. කාලීන ව වාසස්ථානය වෙනස් කරමින් සංක්‍රමණික ජීවිතයක් ගත කිරිමෙහි වැද්දන් සතු ගති පැවැත්ම තුළින් එය මනා ලෙස පිළිබිඹු වෙයි. සතුන්ගේ ගමන්-බිමන් යාම, ආහාරයට යෝග්‍ය පළතුරු අල සහ රිටි (මෙහි ඇතුල් පොත්ත කෙටි ඇදුම් නිර්මාණය සඳහා ප්‍රයෝජයට ගනු ලැබේ.) ලබාගත හැකි බව ජලය ලබාගන්නා වුත් ජලය එක් රැස් වන්නා වුත් ජලාශ, නවාතැන් සපයන පර්වත ගුහා අද්දරවල්, ලෙන්, මී පැණි හැරුණු විට තිරුවානා, කහඳ ගල් ආදී විශේෂ ගනයේ අමුද්‍රව්‍ය සහිත ප්‍රදේශ වීම, යන තත්වයන්වලට ඔවුන්ගේ කාලානුරූපී සංක්‍රමණ සමගත්, නවාතැන් බිම් සමග සේම ඉහත කී සාම්ප්‍රදායික මං පෙත් නොකඩවා වැද්දන්ගේ භාවිතයට ගැනීම සමගත් සෘජු සම්බන්ධතාවක් තිබේ.

Vedda-Dambana-Meusium-Sri Lanka-Indigenous People
දඹ‍ානේ වැදිජන කෞතුකාගාරයේ දර්ශනයක් (ඡායාරූපය http://my-road.de/veddas-in-dambana/ සංස්කරණ සහිතව උපුටා ගන්නා ලදී.)

වැදි සමාජයේ ව්‍යුහාත්මක සැකසීමට ද වනගත පරිසරයේ බලපෑම් ලැබී ඇත. නොපැතුරුණු සම්පත්වල සීමිත ස්වභාවයත්, ඔවුන්ගේ අස්ථාවර පදිංචියත් මගින් එකිනෙක කණ්ඩායම්වල ප්‍රමාණය තීරණය වෙයි. කණ්ඩායමක් සැකසෙන්නේ න්‍යෂ්ඨික පවුලේ හෝ විස්තෘත පවුල් කීපයක හෝ එකතුවෙනි. ස්වභාවයෙන් වැද්දෝ විශාල කණ්ඩායම් ලෙස පෙළ නොගැසෙති. ස්වකීයයන් සමග විවාහ වන මේ ගෝත්‍රිකයෝ පැහැදිලිව වෙන් වූ ප්‍රදේශීය ඒකකවල පදිංචි ව සිටිති. දඩයම් හා ආහාර එක්රැස් කිරීම ආර්ථිකයේ ස්භාවයත්, ඒකීය කණ්ඩායමේ ප්‍රමාණයත් අනුපිළිවෙලින් වයස හා ස්ත්‍රී -පුරුෂභාවය මත සාමාන්‍යයෙන් පදනම් වූ ශ්‍රම විභජනය කෙරෙහි බලපායි. සරල තාක්ෂණයක් භාවිතයට ගැනීම සංකීර්ණත්වයෙන් අඩු ආයතනගත ව්‍යූහය සහ ස්භාවධර්මය මත රදා පැවැත්ම හේතුවෙන් සුඛෝපභෝගී හා උපයෝගීතා භාණ්ඩ කෙරෙහි ඉල්ලුමක් ඇති නොකරයි. ඒ අනුව මේ සමාජවල ඉල්ලුමේ ස්වභාවය ස්ථාවර කෘෂිකාර්මික හෝ කාර්මික සමා‍ජවල පවත්නා තත්වයෙන් වෙනස් ය. ‍අනෙක් අතට එමගින් ශිල්පීය ප්‍රාගුණ්‍යට දිරිදීමක් ද නොකෙරේ. හදිසි සංචාරය පහසු කරවන එක් මඟක් ලෙස වැද්දෝ තමන් සතු පෞද්ගලික ආම්පන්න අතිශයින් අල්ප ප්‍රමාණයකට සීමා කරගෙන සිටිති. මේ ආම්පන්න වලින් බහුතරය ඇත්තෙන්ම පොදු අයිතිය පිළිබද පදනම මත රදවා තබාගත් ඒවා ය.

සාපේක්ෂව පුළුල් භෞතික ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා හුවමාරු රටාවක් වැද්දන් තනාගෙන තිබුණි. වැදි ජන සමාජය ඇතුළත ක්‍රියාත්මක වූ අභ්‍යන්තර හුවමාරු පද්ධතිය මී පැණි, (දඩ) මස්, විශේෂ ශිලා වර්ග, සත්ත්ව සම ආදී ප්‍රාදේශික සම්පත්වල ඇති-නැති බව මත රැදී පැවතුණි. කලින් කල වූ ස්ථාන මාරුව ආශ්‍රිත ජංගම ක්‍රියාදාමය බහුලව හුවමාරු කටයුතු වලට යෙදවුණි. විවාහ අවස්ථාවේ දී මනාලියට ඇතැම් සම්පත් දායාද වශයෙන් දීම හුවමාරු ව්‍යූහයේ එක් අංගයක් විය. ස්වභාවික සම්පත් වඩාත් බහුල වූ හෝ සමාජීය අගයකින් යුත් ද්‍රව්‍ය සහිත වූ හෝ ප්‍රදේශ පාලනයේ නියුක්ත වූ ඇතැම් වැදි නායකයන් හා සමාජ එකී ප්‍රදේශ සතු විශේෂ තත්වයන් නිසා අනෙකුත් නායකයන්ටත් සමාජවලටත් වඩා සමාජ-දේශපාලනික වශයෙන් වාසි ලබන්නට ඇත. වනාශ්‍රිත පරිසරය තුළ දුර්ලභ ලුණු, යකඩ, ආයුධ, සිප්පිකටු හා ලාභ ආභරණ වර්ග පිටස්තර තාක්ෂණික සංස්කෘතික කණ්ඩායම් වෙතින් (සමහර විට අදිසි හුවමාරු මගින්) වනගත නිෂ්පා‍දන වෙනුවට ලබා ගත යුතු විය.

වැද්දන්ගේ පූජා විධි කෙරෙහි ද වනගත පරිසරයෙන් දැඩි බලපෑමක් ඇති වේ. සතුන් හෝ පැළෑටි නිරූපණය වන සංකේත මගින් ගෝත්‍රික වර්ග නියෝජනය වීම (බොහෝ විට සංක්‍රමණික මාර්ග ඔස්සේ හෝ ප්‍රාදේශීය සීමා ආශ්‍රිත ව වැදගත් ස්ථානවල පිහිටි) වෘක්ෂ, පර්වත කදු හා පොකුණු දේවත්වයෙන් සැලකීම, මරණින් මත්තෙහි ජීවිතයක් පිළිබඳ ඇදහීම හා මුතුන් මිත්තන් වන්දනාව, ආරක්ෂක භූත වි‍ශේෂයන්ගේ ආශිර්වාද ලබා ගැනීම උදෙසා මන්ත්‍ර හා ගීතිකා ගැයීම යන මේ සියල්ල ඔවුන්ගේ ගෝත්‍රික ආගමික හා සම්බන්ධ සාපේක්ෂ ලෙස සංකීර්ණ වූ පූජා විධිවල එක් කොටසකි. සිය කාලීන සංක්‍රමණවල ආරම්භක මෙන් ම අවසාන අවස්ථා සැමරීම සඳහා වසරේ විශේෂ කාල සීමාවල දී ඊට ම ආවේණික සම්ප්‍රදායික කේන්ද්‍රස්ථානවල දී පැවැත්වෙන ගෝත්‍රික එක්රැස්වීම් උත්සවාකාරයෙන් ගනී. මෙබදු මධ්‍යස්ථාන ද පිරිස් වශයෙන් කාලීන ව සිදු වන රැස්වීම් ද, වැද්දන් පිළිබඳ සාමාජීය හා පූජා විධි ක්‍රියා ආශ්‍රිත ව අතිශයින් වැදගත් වේ. මෙයින් මනාව හෙළිදරව් වන්නේ, වැද්දන්ගේ ආයතනගත ව්‍යහුයේ අඛණ්ඩ පැවැත්ම (self perpetuation) විශේෂ වනගත පරිසරයත් සමග හොඳින් බැඳී පවත්නා බව යි. මේ සූක්ෂම සම්බන්ධතාවට යම් බාධාවක් පැමිණිතොත්, මේ ජන සමූහයේ ව්‍යුහාත්මක පදනම, එමගින් නිසැකව ම අස්ථානගත වන අතර ම, තමන්ට ආවේණික සම්ප්‍රදායන් හා තාක්ෂණික සංස්කෘතික පැවතුම්වලින් හෙබි වැද්දන්ගේ අනන්‍යතාවට සහ පැවැත්මට තර්ජනයක් ද එල්ල වෙයි. උදාහරණයක් වශයෙන් විශේෂ සංස්කෘතික විසිර යාමේ ප්‍රතිඵලයක් ලෙස, ඊට අයත් භාෂා මාධ්‍යයේ පරිහානියක් සිදු වේ. ආක්‍රමණික, තාක්ෂණික – සංස්කෘතික කණ්ඩායම්වල භාවිතයේ පවත්නා උප භාෂාවලින් ඉහත කී පරිහානිය වඩාත් වේගවත් කරයි. විශේෂ සංස්කෘතික පසුතලයක ඇති ස්වලක්ෂණය නිසැකව ම රැදී සිටින්නේ එකී සංස්කෘතියේ භාෂාව මත ය. වචනවල ක්‍රියාකාරී භාවිතය අවශ්‍යයෙන් ම ඇරඹෙන්නේත්, පරිණාමයට පත් වන්නේ ත් විශේෂ සාමාජික හා තාක්ෂණික සන්දර්භයක් තුළ ය. ආයතනමය උපරි ව්‍යුහයේ පරිහානියත් සමග ම අදාළ භාෂාවට එකී සංස්කෘතික පදනම අහිමි වන්නාක් සේ ම, පහත පසුතලයේ තත්වයට ද ඇද වැටෙන එය, හුදෙක් උප-ස්තර මට්ටමේ පමණක් රඳා පවතී.

මේ වනවාසී දඩයම් කරුවන්ගේ විසිර යාමේ ප්‍රතිඵලයක් ලෙස, සාමාජීය විද්‍යා ක්ෂේත්‍රයේ මානවවංශ අධ්‍යයනයට උපයෝගී වන අගනා ආදර්ශ අධ්‍යයනයක් අපට අහිමි වී යයි. වැද්දන් මනුෂ්‍යත්වයෙන් අගයනු ලැබීමට කෙරෙන ආයාචනය යනු, ඔවුන්ගේ චාම් දිවිය සුරක්ෂිත කිරීමට, හෝ ඔවුන් වඩාත් සෞන්දර්යාත්මක තත්ත්වයකට පැමිණවීමට හෝ සාමාජීය හා භෞතික විද්‍යා ක්ෂේත්‍රයන්හි ආදර්ශ ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔවුන් “මානව විද්‍යාත්මක” බවට පරිවර්තනය කිරීමට හෝ ගන්නා වෑයමක් නොවේ. ආයතනගත නිර්මාණයේ තාක්ෂණික – සංස්කෘතික පුරෝගාමීත්වය ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා ඉමහත් වැදගත් පුරුකක් සැකසීම මෙබඳු ජන පිරිස්වලින් සිදු කෙරේ. ඉන්දියානු ගෝත්‍ර පිළිබඳ ව, මානවවංශ ඉතිහාසය හා මානවවංශ පුරාවිද්‍යාව ආශ්‍රය කර ගනිමින් සිදු කළ පර්යේෂණවල අගනා සාක්ෂි පදනම් කර ගනිමින්, උප මහාද්වීපික ගෝත්‍රික සංස්කෘතිය, ඉන්දියාවේ ජීවමාන ප්‍රාග් ඉතිහාසය” යැයි ඩී.ඩී. කෝසම්බි හැඳින්වී ය. වැද්දන් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ‍‍‍‍‍‍ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ ජනතාවගෙන් සෘජු වශයෙන් පැවත එන්නන් බව පුරාවිද්‍යාත්මක /භෞතික / සංස්කෘතික /මානවවිද්‍යාත්මකව පදනම් කරමින් පැවසිය හැකි ය. එහෙයින් වැද්දන් ආශ්‍රිත මානවවංශ අධ්‍යයන මෙරට ප්‍රාග් ‍ඓතිහාසික පුරාවිද්‍යාවේ ම අනුබද්ධ කොටසකි.

වැද්දන් මත පැට වු ඒකාධිකාරය

සම්පූර්ණ ජීවන රිද්මයන‍ට පාදක වු ජන වාර්ගික සංස්කෘතිය පිරිසක් හා බැදී පැවත පාරිසරික පදනමට සිදු වූ හානියේ අවුල් සහගත ප්‍රතිඵල, ඇත්තෙන් ම අපට අවබෝධ වි තිබේ ද? මෑත දී සිය සාම්ප්‍රදායික නිජ භූමියෙන් වැද්දන් නෙරපනු ලැබීම ගැන මෙරට වැසියන් පල කළ බලවත් උදාසීනත්වය තුළින් පිළිබිඹු වන්නේ, සමාජය පිළිබද අපගේ අවධානයේත්, සමාජයට අයත් යථාර්ථයන් සම්බන්ධව අපගේ බුද්ධිමය මහිමය පල කිරිමෙන් මට්ටම් වල පරිහානි අවස්ථාවක් නොවේ ද? ඒ තුළින් හුදකලා වූ මානවවංශ සංස්කෘතික කණ්ඩායමක් වශයෙන්, වැද්දන් සම්බන්ධ ව අපේ ‍‍‍ඓතිහාසිත සාමාජිය සංස්කෘතික සහ අධ්‍යාපනික ආකල්ප පිළිබද වැදගත් ප්‍රශ්න කිහිපයක් පැනනැගෙයි. කේන්ද්‍රීය ප්‍රශ්න වන්නේ “ජන වාර්ගික – සංස්කෘතික කණ්ඩායම් සතු පෞද්ගලිකත්ව ය හඳුනා ගැනීමටත්, ඊට ගරු කිරීමටත් අපි කොතෙක් දුරට රුචිකත්වයක් දක්වමු ද?” යන්නයි. අපේ ආකල්ප සහ ක්‍රියාවන් දැනුවත් ව‍ හෝ නොදැනුවත් ව ස්වජාතික අන්තවාදයෙන් (national chauvinism) හෝ තවමත් අපෙන් නොගිලී ඇති යටත් විජිත වාදි අදහස්වලින් හෝ නව අධිරාජ්‍යවාදයෙන් දීර්ඝ හස්තයෙන් හෝ මෙහෙයවනු ලැබේ ද?

සියලු ම ප්‍රායෝගික අරමුණු තකා වැද්දන්, තම පිරිස් සලකන්නේ ස්වාධීන ජන සමාජයක් වශයෙනි. ඇත්තෙන් ම යටත් විජිත සමයේත් යටත් විජිතවාදයට ‍පෙරාතුවත් යටත් විජිත සමයේත් පාලකයන් මේ ජන කොට්ඨාසයට කළ බලපෑම කොතෙක් දැයි යන්න ගැන පවතින්නේ ඉමහත් අපහැදිලි තත්වයකි. වැද්දන් ගේ අභිමානවත් ප්‍රකාශයක් නම් “සිංහලයන් පැමිණීමට කලින් මුළු රට ම අයිති ව තිබුණේ අපටයි” යන්න යි (පාකර් 1909). සිය වනගත වාසස්ථානය තුළ ආචාරධර්ම පද්ධතියකුත් වෙනත් සාමාජීය, ආර්ථික හා දේශපාලන අන්තර්ක්‍රියාවකුත්, වැද්දන් සතුව පවති. එහෙයින් ආගන්තුක සියලු තාක්ෂණික – සංස්කෘතික අංග සැලකෙන්නේ පිටස්තර ඒවා ලෙස ය. ස්වාධීන වු මානවවංශ සංස්කෘතික කණ්ඩායමක් පිළිබඳ සංකල්පය හාස්‍යයකට මෙන් අපේ ආයතනගත හා මානසික රාමුවකට ද “පරිබාහිර” වශයෙන් සැලකේ. ප්‍රථමයෙන් ම අ‍ප ගේ යටත් විජිත ස්වාමිවරුන් ගේ අනුගාමිකයන් ලෙස, ඔවුන් සමස්ත ජන සමුහය කෙරෙහි විවාද රහිත ව බලය පාවිච්චි කිරිමට අපට අයිතියක් ඇතැ යි අප විශ්වාස කරමු. ඉහත කී තත්ත්වය විශේෂයෙන් ම කැපී පෙනෙන්නේ, ජාත්‍යන්තර මූලධන වෙ‍ළෙදුන් වෙනුවෙන් පාරිභෝගික හා ශ්‍රම වෙළෙදපොළක ස්වරූපයෙන්, අපේ ද්වීපික සමාජය ජයගත් ආර්ථිකය තුළ ට සහමුලින් ම ප්‍රවිෂ්ට කිරීම සඳහා වර්ධනය වෙමින් පවත්නා ප්‍රවණතාව ද සැලකිල්ල ට ගැනීමේදී ය.

දෙවනුව ජන සමාජයක් වශයෙන් අපේ ඓතිහාසික කාර්යභාරය අවබෝධ කර ගැනීමට හෝ, මේ රටේ අඩුවෙන් සංවර්ධිත ජනතාව සංස්කෘතික බවට පත් කිරීම ට හෝ අවශ්‍ය මානසික පසුබිම අපට අඩු නැත. දීපවංශයේ හා මහාවංශයේ එන විස්තරවලට අනුව, ආරම්භක සංග්‍රාමය මෙහෙයවන ලද්දේ කෘරත්වයෙන් පරිපෝෂිත වූ දක්ෂතාවකින් යුතුව ය. එම ග්‍රන්ථවලට අනුව, මුල් ම ජනපදවාසීන්, මෙකී සංස්කෘතිකභාවයට පත් කිරීමේ ක්‍රියාවලියට මුල පිරුවේ එක්කෝ දේශීය කණ්ඩායම් සංස්කෘතික වශයෙන් සිය සමූහයට ඇතුළත් කිරීමෙනි. නැතිනම් කායික වශයෙන් ඔවුන් සහමුලින් වනසා දැමීමෙන් සහ සෙස්සන් ප්‍රත්‍යන්තික කදුවැටි කරා පිටුවහල් කිරීම සමාජයෙන් “යකුන්” පලවා හැරීමෙනි. මෙමගින් අපේ මුතුන් මිත්තෝ කෘෂිකර්මය සදහා අපූරු වූත්, අතිශයින් සාරවත් වූත් භූමිය ද, ධර්‍මද්වීපය පිහිටුවීමෙහි ලා යෝග්‍ය වූ භෞතික පදනමකින් යුක්ත ස්වභාවික සම්පත් සහිත ප්‍රදේශ ද උරුම කර ගත් හ. මහා සම්ප්‍රදායෙන් ඇරඹුණු සංස්කෘතිකකරණ ක්‍රියාවලියට, කෙසේ හෝ වේවා ස්වාධීන කණ්ඩායම් සතු ව තිබූ සංස්කෘතික ස්වීයත්වය අකාමකා දැමීමට හෝ, ඔවුන්ගේ පාරිසරික ස්ථානවලින් ඔවුන් නෙරපා හැරීමට හෝ නොහැකි විය. මේ දඩයම්කරුවන් පූර්ව – නූතන යුගය තුළ සහමුළින් ම වඳ වී යෑමෙන් බේරුණේ එවකට ජගත් ආර්ථිකයක් නොපැවති නිසා වන්නට පුළුවන.

ඉහත දැක්වූ හේතු නිසා ම, පෞද්ගලික මානව සංස්කෘතික කණ්ඩායමක් වශයෙන් යම් විශේෂ සමාජයක පරිණාමය යන්න, අපේ ස්වජාතික අන්තවාදය (national chauvinism) නමැති සංකල්පයට ඉඳුරා විරුද්ධ වූව කි. මානව – සංස්කෘතික කණ්ඩායම් අතරින් ස්වයං නිශ්චය අතරත්, ස්වභාවික සමානත්වයක් දකින්නට අපි අනුක්‍රමයෙන් හුරුපුරුදු වී සිටිමු. නිදසුනක් ලෙස සිංහල – දෙමළ භේදය පිළිබඳ ක්‍රමානුකූල හදුන්වා දීමත්, ප්‍රාදේශීය, සංස්කෘතික සහ භාෂාමය හේතු ඔස්සේ ඒ ජන සමාජ දෙකේ සිදු වූ ලම්බාකාර භේද භින්න වීමත්, එය ම රළු ස්වරූපයකින් ජාතිවාදී පදනමක් මත බාහිර වශයෙන් නියෝජනය වීමත් යන කරුණු ස්වජාතික අන්තවාදය සනාතනිකත්වයට පත් කිරීමෙහි ලා අප සතු හැකියාව පිළිබඳ ජීවමාන සාධක සපය යි. සංඛ්‍යාත්මක වශයෙන් වඩාත් විශාල වූ තාක්ෂණික වශයෙන් වඩාත් විශිෂ්ඨ වූ, ආර්ථික වශයෙන් වඩාත් විශිෂ්ඨ වූ, ආර්ථික වශයෙන් වඩාත් සංකීර්ණ වූ සමාජයක් මේ ද්වීපික සමාජය තුළ ඊට ම ආවේණික ලක්ෂණවලින් සමන්විත සංස්කෘතියක් සහ විශේෂ ආර්ථිකයක් මත රැදී (සාම්ප්‍රදායිකව සිය ප්‍රාදේශික පාරිසරික කලාප ලෙස පිළිගැනුණු) පැහැදිලි ව සලකුණු වූ භෞතික ප්‍රදේශයක ළැගුම් ගත් ජන කණ්ඩායමක් කෙරෙහි සිය බලය පතුරුවන්නට තැත් දරන විට ඇත්ත වශයෙන් ම තත්ත්වය වඩාත් බරපතල වෙයි. ඛේදනීය වෙයි. දහනවවැනි සියවසෙහි පටන් වැද්දෝ දළ බිඳී ගිය ඇතුන් සේ පසුබසිමින් සිටිති. වඩාත් විශේෂ වශයෙන් නූතන ජනපද ව්‍යාපාර ඇරඹීමත් සමග සහමුලින් ම වෙනස් ආර්ථිකයක් ක්‍රියාත්මක වන නව තාක්ෂණික – සංස්කෘතික මූලයන් කෙමෙන් වැදිජන නිජබිමට රිංගා ගත්තේ ය. අරුමයකට මෙන් ‍ඓතිහාසික ලිඛිත මූලාශ්‍ර අනුව, උතුරු ඉන්දියාවෙන් පැමිණි මුල් ම පදිංචිකරුවන් ද “ජනපද පිහිටුවීමට” පැමිණි බව සඳහන් වීම වැදගත් ය. සැලසුම් සහිත ව සිදු වූ වනගත පරිසර විනාශයත් සමග ම වැදි ජනතාවගෙන් වැඩි පිරිසකට සිය දිවිපෙවෙත තකා කෘෂිකර්මයේ නිරත වන්නට ඉරණම යෙදුණු “ගම්වැද්දන්” නමින් ජනවහරේ එන කණ්ඩායම ශ්‍රී ලංකාවේ ගැමි ආර්ථිකයේ දිළිඳු ගොවියන් අතර වඩාත් මුළු ගැන්වුණු සහ පීඩිත පිරිස නියෝජනය කරයි. ශිෂ්ටාචාරයේ මුවාවෙන් වෙස්වළා ගත් මේ ආක්‍රමණික ක්‍රියාවලියට මුහුණ පා එහි නටබුන් සංකේතවත් කරමින් ඉතිරි වු වැද්දෝ මධ්‍ය මහවැලි සානුව පසුබැස ගිය හ.

Vedda-Sri Lanka-Indigenous People
වන වැදි වැද්දන් දඩයම් කරමින් (ඡායාරූපය http://www.srilankanexpeditions.com වෙතින් සංස්කරණ සහිතව උපුටා ගන්නා ලදි.)


සංවර්ධනයේ මිසවනාත්මක ප්‍රතිවිරෝධය

නවීකරණයේ වර්තමාන අදියර වශයෙන් වැද්දන්ට එළඹි ඇති තර්ජනය වන්නේ “සංවර්ධන උපක්‍රමයෙ හි” දීර්ඝ හස්තයම, මිස අනෙකක් නොවේ. බාහිර වශයෙන් මේ උපාය ජගත් ධනේශ්වරය නොවේ. බාහිර වශයෙන් මේ උපාය ජගත් ධනේශ්වර ආර්ථිකය සමග වෙළී පවතී. මෙය තුන්වෙනි ලෝකයේ එකම නියාමයක් (උදාහරණ ලෙස ඌන සංවර්ධනයේ සංවර්ධනය) පමණක් දන්නා ආර්ථික උපරි ව්‍යුහයකි. (ඒ. ගුන්ඩර් ප්‍රෑන්ක්ගෙන් මේ පිළිබද ව “සමාව”යදිමි.) සංවර්ධනයේ මේ මායාව ළැදිකම නොදක්වන ඇතැමුන්, ආර්ථික ස්වරූපය සහ සමාජ හා පාරිසරික අස්ථාවර භාවයෙන් ආශ්‍රයෙන් “සංවර්ධන උපක්‍රමයෙ හි” ආකර්ශනීයත්වයෙන් අඩු අභ්‍යන්තර ස්වභාවය පෙන්වා දී තිබේ. දැනට ඉතිරි වනගත පෙදෙස් විනාශයෙන් බේරා ගැනීම, වෙනත් වචනවලින් හදුන්වතොත් අපනයනය සදහා වාණිජ වැවිලි මත ආයෝජනය කරන බහුජාතිකයන් විසින් විශාල ලෙස මුදල් යොදවන ලද මහා ගොවිපොළවල් (Latufundia) සමූහයක් පිහිටු වීමට එක අතකින් කරන උත්සාහයකි. තුන්වෙනි ලෝකයේ රටවල ජනතාවට එරෙහි ව ප්‍රතිපත්ති සැකසිමට. අදාළ රාජ්‍යයන් මෙහෙයවීම සදහා විශ්මය ජනක හැකියාවක් ජාත්‍යන්තර කෘෂි ව්‍යාපාරය සතුව තිබේ.

1983 වර්ෂයේ ජනවාරි මාසයේ දී නිකුත් කරනු ලැබූ වැදි ජනතාව නෙරපීමේ නියෝග තුළින් පිළිබිඹු වන්නේ සිය අවසන් පිලිසරණ වූ පාරිසරික භූමිවල ම රැදී සිටින්නට දගලන ඔවුන් කෙරෙහි රාජ්‍යයෙන් දක්වන ලද නොතකා හැරීමෙහි තරම යි. හුදෙක් වෙනත් කිසියම් කැලෑබද ආරක්ෂිත ස්ථානයක් පවරා දීමකින් පමණක් ඔවුන්ට අහිමි වූ මුල් වාසභූමිවල හිලව්වට වන්දි නොලැබේ. වෙන්කළ අලුත් කැළෑව තුළ ප්‍රමාණවත් දඩයම් සතුන් හෝ අඩු තරමින් රැස් කිරීමට සෑහෙන තරම් ශාඛ – සම්පත් හෝ ඇති බවට කිසිදු සහතිකයක් නැත. නව බිම් පෙදෙස් තුළින් මී-වද, ගල් ලෙන්, දියකඩිති හා විශේෂ වර්ග වලට අයත් ශිලා ආදී අනෙකුත් සම්පත් කොතෙක් දුරට හමුවේ දැයි සැක සහිත ය. තමන් ගේ සම්ප්‍රදායික පූජනීය වෘකෂ ද, ජලතලා පර්වත සහා අනෙකුත් සමාජ චරිත්‍රානුගත මධ්‍යස්ථාන ද ඔවුන් ට අහිමි වී යයි. තම මියගිය මුතුන් මිත්තන් මිහිදන් කෙරෙනු පාරම්පරික ලෙන් බිම් ද, චිරාගත කාලයක් මුළුල්ලේ යාම් ඊම් කළාවුත්, සියවස් ගණනාවක් තිස්සේ සමාජ ආර්ථික සම්බන්ධතාවලට උපකාරවත් වූත් ගමන් මාර්ග ද එළඹ සිටින වැද්දන් අතුගා දැමීමේ කාර්යය කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය මගින් ඇත්ත වශයෙන් ම පරිපූර්ණ නිමාවක් දකියි.

රාජ්‍ය අනුග්‍රහයෙන් පෝෂිත නවීකරණය මගින් ඉන්දියාවේ ගෝත්‍රික ජනයා වෙත පමුණුවන ලද විනාශයෙන් යථා ස්වභාවය හදුන්වාදීමට මේ අවස්ථාව අතිශයින් උචිත ය. පහත සටහන් කොටස් උපුටාගෙන ඇත්තේ ඒ.බි බර්ඩන් (1973:63-71) ලියා ඇති ඉන්දියාවේ ගෝත්‍රික ගැටළුව නම් ග්‍රන්ථයේ එන මහජන අංශ සම්බන්ධ යෝජනා ක්‍රම මගින් ගෝත්‍රිකයන් පළවා හරින ලද ආකාරය ගැන කියැවෙන පරිච්ජේදයෙ නි. “ . . . ඔවුන් වාසස්ථාන කර ගත් භූමි අප රටේ ඇතැම් සාරවත් ම ප්‍රදේශ කිහිපයකි. වන සම්පත් රාශියකින් පමණක් නොව අනන්ත ලෝහ නිධිවලින් ද ඒවා සමන්විත ය. නිදහසින් පසු සිදු වූ කාර්මික හා ආර්ථික සංවර්ධන පරිපාටිය නිසා අමුද්‍රව්‍ය සහිත මූලාශ්‍ර වශයෙන් හා යෝධ සංවර්ධන යෝජනා ක්‍රමවලට පදනම් වූ භූමි වශයෙන් ස්වභාවයෙන් ම මේ ප්‍රදේශ වලට සිත් යොමු කරනු ලැබීය.

ඒ ජාතික යෝජනා ක්‍රම නිර්මාණය කිරීමේ ක්‍රියාවලීය විසින් පනවන ලද නීති පද්ධතිය නිසා ගෝත්‍රිකයන්ට සිය ඉඩම් අහිමි වූ අතර, ඊට වන්දි වශයෙන් මුදල් ගෙවනු ලැබීය. එහෙත් ඒ මුදල් නාස්ති වී යාමෙන්, ගෝත්‍රිකයන් නොබෝ කලකින් ම දිළිඳු වූ අතර ඉඩම් ද ඔවුන්ට නැති විය. කාර්මීකරණයේ පළමු ආස්වාදයෙන් පසු ව ගෝත්‍රිකයන් මුහුණ පෑ තත්වය මීටත් වඩා ඛේදජනක ය. බො‍හොමයක් ව්‍යාපාර සිදු වන්නට ඇත්තේ පොදු අංශය තුළ බවට සැකයක් නැත. එහෙත් ඒ සියල්ල මධ්‍යම පන්තික ජනයා විසින් ලුහුබඳිනු ලැබූ සමස්ත ධනවාදී සංවර්ධනයේ අංගයකි. සිය පුහුණු කොන්ත්‍රාත්කරුවන් ද මධ්‍යම පන්තික වෙළඳ පිරිස ද, වාසනාව සොයා යන වෙනත් සුළු ධනේශ්වර පන්තික සමූහයක් ද නාගරික නන්නත්තාරේ යන්නවුන් (Iumpens) ද එමගින් කැදවා ගෙන එනු ලැබේ. ගණිකා වෘත්තිය, සමාජ රෝග මෙන් ම දිගු කලක් මුළුල්ලේ ගෝත්‍රික මානසික සැකැස්ම පෝෂණය කරනු ලැබූ සමාජ හා සංස්කෘතික සාරධර්මවල පරිහානිය සහ විනාශය එමගින් ගෙන එනු ලබන ආශිර්වාදය වෙයි. උතුරු හා දකුණු ඇමරිකාවෙත්, අප්‍රිකාවේ හා ඕස්ටේලියාවේත්, ගෝත්‍රිකයන් මුහුණ පෑ විනාශයේ ඉරණම කෙබදු දැයි පුන පුනා කීමට තරම් එය අප්‍රකට නැත.

කෙසේ වුවත්, පරිබාහිර තාක්ෂණික – සංස්කෘතික කණ්ඩායම්වලින් සිදුකරනු ලැබූ අයිතීන් පැහැර ගැනීම්වලට ඉන්දියානු හා ලාංකික ගෝත්‍රිකයන් දැක් වූ ප්‍රතික්‍රියාවල පුළුල් වෙනසක් තිබේ. ශ්‍රී ලංකාවේ දහනවවැනි හා විසිවැනි සියවස්වල සිදු වූ ආක්‍රමණ හමුවේ අකර්මණ්‍ය විරෝධයකින් අනතුරුව වැද්දෝ එක්කෝ යටත් වූහ; නැති නම් පසු බැස ගිය හ. ඉන්දියාවේ දහනවවැනි හා විසිවැනි සියවස්වල වැඩවසම් ක්‍රමයට අයත් අංග ඇතුළු වූ යටත් විජිත පාලනයට කිහිප වතාවකදී ම අභියෝග කළ ගෝත්‍රිකයෝ පසු ව මේ සියවසේ වෙළෙදුන් හා කාර්මික ධනවාදීන් කළ පැහැර ගැනීම් වලට විරෝධය පෑහ. දහනවවැනි සියවසේ මැද භාගයේ සිට සන්තාල්, කොල් මුණ්ටා, කෝයා, කුරිච්චියාස්, නාග සහ මිසෝ ගෝත්‍රිකයන් රාජ්‍ය විරෝධතා ගණනාවක් ම දියත් කිරීම යටත් විජිතවාදයත්, ධනවාදයත්, මගින් පෝෂිත සංස්කෘතියටත්, ආර්ථිකයටත් එරෙහිවීමේ පැහැදිලි ප්‍රකාශයකි. මේ විරෝධතා සාර්ථක වුවත් නැතත්, (“ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය” යන ග්‍රන්ථයෙන්) මාක්ස් පෙන්වා දෙන පරිදි, විප්ලවයක් බිහිකරන ඉතිහාසයේ “අවිඥානක අවිය” වශයෙන් ක්‍රියා කරන බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී කාර්මික රටවල වාණිජවාදය මගින් හා අනතුරුව කාර්මික ධනවාදය මගින් නිර්මිත ද්විඝටනවාදි ප්‍රතිවිරුද්ධතා නිසා ඇති වන සමාජ විප්ලවය හැදින්විය හැකිය .

“නවිකරණය” යන්නෙනුත්, ලෝක ආර්ථිකය සමඟ අපේ ඒකාබද්ධතාවෙනුත් අදහස් කෙරෙන්නේ සංස්කෘතියේ සමාන ස්වරුපය පිළිගැනිම ද? පාරිභෝජනමූලක සර්වව්‍යාපි සංස්කෘතියක් ලම්බාකාර ලෙස විහිද යාම සඳහා සියලු ම ජනපිරිස්වලත් සම්පත්වලත් තිරස් ලෙස සිදු වන ඈදා ගැනිම (Horizontal Integration) අවශ්‍ය ද? නාගරික සමාජවලත්, නව යටත් විජිතවාදයේත් බල පැවැත්වීම යටතේ සර්වව්‍යාපී සංස්කෘතියකට සම්බන්ධතා ඇති විවිධ ප්‍රතිමාන පිළිගන්නට අපට සිදු වී තිබේ. අප ඉතා හොදින් නව පරිසරවල හැඩගැසිය හැකි කීකරු පිරිසක් බව ද අපි ඔප්පු කර ඇත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස නවීකරණය තුළින් ‍‍‍‍සංස්කෘතිය විශිෂ්ට ලෙස නිරුපණය කරන පිරිසක් බවට අපි පත්ව සිටිමු. හාස්‍යයකට මෙන් සංවර්ධනය සඳහා අප තුළ ඇති දැඩි උද‍‍්යෝගය නිසා ලොව මේ කාලාපයේ සමාජීය ඩාවීනියානුවාදයට නව ජීවයක් ලැබි තිබේ. මේ අනුව අපේ සමාජයේ හා ආර්ථිකයේ මුළුගැන්වුණු කොටස “නවීකරණය” කරන්නට දුඹුරුවන් මිනිසාගේ උරහිස මත “සුදු මිනිසාගේ බර” ගෙන යන ශෝකාකූල -සුඛාන්තය යළිත් රඟ දැක්විය යුතු‍ වේ. ඊට අමතර ව ලෝක ධනවාදයේ ජගත් ආර්ථිකය සමඟ අවශ්‍ය අංගයක් සේ සම්බන්ධ කෙරෙන නිසොල්මනේ බලා සිටීමේ සංකල්පය නීතිගත කිරීමට උචිතම මානසික පරිසරය ද සමාජීය ඩාවීනියානුවාදය මඟින් සැකසෙයි.

මේ නාගරිකවාදි සංස්කෘතියේ නියෝජිතයන් වශයෙන් අනෙකුත් මානව/තාක්ෂණික සංස්කෘතික කණ්ඩායම් මත ප්‍රතිවිරෝධී සංස්කෘතියක් බලයෙන් පැටවීම ගුණාත්මක වශයෙන් සලකතොත් අප ලබන්නට අපේක්ෂා කරන්නේ කුමන වාසියක් ද? 1908 වර්ෂය තරම් ඈත සී. ආනන්ද කුමාරස්වාමි අපේ සංස්කෘතික අභිලාශයන් සහ සංවර්ධන සංකල්පය අතර පවතින පරස්පර විරෝධතා අපට පෙන්වා දුන්නේ ය. යාථාර්ථය පිළිබඳ කරන කථාවක් සංවර්ධනය පිළිබඳ කතාවක් යනු එකක් නොවේ. සිය තත්ත්වය නගා සිටුවිමට පුද්ගලයා දැරිය යුතු දැඩි උත්සාහය සන්තර්පණය කිරීම පිණිස නව රුචිකත්වයන් නිර්මාණය කිරීමෙන් ශිෂ්‍ටාචාරය අභිවෘද්ධියට පත් වේ යැයි සැලකේ. එහෙත් යථාර්ථයෙන් සලකතොත් එය ප්‍රමාණාත්මක බව නොවේ. ජීවන කලාවේ සංවර්ධනය පිළිබඳ සලකණු ලෙස සැළකීමට ඉඩ ඇති අවශ්‍යතා පිළිබඳ ගුණාත්මක බව යි. අවශ්‍යතාවන්ගේ ගුණාත්මක බව වැඩි දියුණු කෙරෙන සාධක එමඟින් ලැබෙන බවත් සාවද්‍ය ලෙස ඇගවේ යැයි, නූතන සිංහල රුචිකත්වය හඳුනන කිසිවකු නොකියනු ඇත. ඇත්තෙන් ම ප්‍රමාණාත්මක බව, විවිධත්වය හා නවතාව යන කිසිවක් ගුණාත්මක බව තුළ නැතැයි යන්න සෑහෙන තරමින් පැහැදිලි ය. අපේ අදාළ ප්‍රශ්නය පිළිබඳවත් මෙය අතිශයින් ම යෝග්‍ය ප්‍රකාශයක් ලෙස සැළකිය හැකි ය. රඳා පවතින ආර්ථිකයක් තුළ සිදුවන ද්‍රව්‍යමය ප්‍රගතිය පූර්ණ ජන සමාජයක් වශයෙන් දේශපාලන නිදහසත්, ආර්ථික ඌන සංවර්ධනයන්, සංස්කෘතික පරිහානියත්, ආචාරධර්ම ඌනතාවත්, එසේ ම බුද්ධිමය පරිහානියත් නොතකා ඉහළින් පනවන ලද ණයට ගත් සුඛෝපභෝගී සම්පතක් විනා අන් කිසිවක් නොවන බව ට අපේ ශ්‍රී ලාංකික සමාජය ජීවමාන උදාහරණයකි.

ශිෂ්ටාචාරයේ වේශයෙන් සංස්කෘතික හා තාක්ෂණික ප්‍රවණතා මගින් සිදු කෙරෙන විනාශය අබිබවා සිටින්නට, වැද්දෝ දෙදහස් පන්සිය වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ සමත් වුහ. කාලාන්තරයක් තිස්සේ නිසලව පැවති වන යාය තුළින් විනාශකාරි ලෙස ගමන් ගනිමින්, වනගත වැසියන් තම ස්වාභාවික ජනාවාසවලින් නෙරපන්නා වු නවීකරණයේ දළ රළ පෙළ වළකාලන්නට සමත් ප්‍රබල මන්ත්‍රයක් ඔවුන් සතුව නැත. සංකීර්ණ වු බහු සංස්කෘතියක ශිෂ්ටාචාරයේ ප්‍රත්‍යන්තික අංශූන් ඈදා ගැනිමේ ප්‍රවණතාව තුළින් “අවසාන විසඳීමේ” හෙවත් මුලිනුපුටා දැමිමේ තර්ජනයට වැද්දෝ අද මුහුණ පා සිටිති. හුදෙකලා ජන කොටසක් ලෙස ජිවත් වීමට උපයෝගී වී තිබු භෞතික පදනම ක්ෂය කිරීමට සමත් තාක්ෂණික සංස්කෘතික අභියෝගකරුවකුගේ අබිමුවට වැද්දන් අද පත් වී සිටී. “ශිෂ්ටා‍චාරය” වෙත නවීකරණය ඔස්සේ එළඹීමේ පවත්නා ප්‍රතිරෝධය මැනවින් හෙලිදරව් කරන්නකි. සමස්ත ඉතිහාසය මුළුල්ලේ ම ඉරණම වශයෙන් අපට විඳදරාගන්නට සිදු වී ඇති කුවේණිය ගේ සැබෑ ශාපය මෙය වෙයි.

*මෙහි මුල් ලිපිය Lanka Guardian, Vol. 6 (1983) හි ප්‍රථමයෙන් ඉංග්‍රිසි බසින් පළවිය.
ඉන් පසු සිංහල පරිවර්තනය අනුභූති පළමු වෙළුමේ 3 වන කාණ්ඩයේ පළ විය.