Home Blog Page 22

පනාවිටිය අම්බලම

දිලිනි ලක්මාලි මෙස්ලින්කා

හැඳින්වීම

දිලිනි ලක්මාලි මෙස්ලින්කා

“අම්බලම” (Way Side Rest House) හුදෙක් ගැමි සමාජය හා බැදි ගෘහනිර්මාණයක් පමණක් නොවේ. විඩාවට පත් මිනිස් සිත, කය නිවන නවාතැන්පළක් ද වූ බව පුරාණ ජන සාහිත්‍යය අපට දෙස් දෙන්නේ ය. සිංහලේ අවසන් රාජධානි සමය වන මහනුවර යුගයේ දී වර්ධනයට පත්වන දාරුමය ඉදිකිරීම් කලාවෙහි ආරම්භය අපට හඳුනාගත හැකිවන්නේ ප‍්‍රාග් ඓතිහාසික යුගයෙහි පටන්ය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා නිවාස හා බලකොටු නිර්මාණය සඳහා දැව දඬු යෙදුවේ ය (ලගමුව 1997:39) අනුරාධපුරය ඇතුළුනුවර 3A ස්ථරයෙන් හමුවන කණු වලවලවල් සාධක අනුව ක‍්‍රිස්තු පූර්ව හතර වන සියවසෙහි පටන්ම දැව භාවිතයෙන් ගෘහනිර්මාණාංග ඉදිකිරීමේ කලාව මෙරට පැවති බව පෙනීයන්නේය. වෛදික යුගයේ ඉන්දියාවේ ද ගෘහනිර්මාණ සඳහා යොදාගන්නා ලද්දේ දැවය. ලක්දිවට ශ‍්‍රී මහාබෝධි ශාඛාව වැඩමවාගෙන එද්දී පැමිණි දහඅට කුලය සමඟ වඩු කුලයෙන් ද පැමිණියේ ය. උතුරු ඉන්දියානු ආර්යන්ගේ ලී කැටයම් මෙහි ද ප‍්‍රචාරයට පැමිණි බව මෙයින් සිතාගත හැකිය (විමලවංශ හිමි 2000:518).

අද මෙන් දියුණු නොවූ දුරාතිතයේ දී මිනිසුන්ගේ ගමනාගමනය සිදුවූයේ පයිනි. නැතහොත් කරත්ත මඟිනි. මෙසේ ගමන්බිමන් යාමේ දී දින ගණනාවක් වුව ද ගත වේ. එ සමයෙහි වෙහෙස නිවා ගැනීමටත්, රාත‍්‍රිය ගත කිරීමටත් පුරාණ ගම්වල අම්බලම් ඉදිකරතිබූ බව ජන සාහිත්‍යය අනුවත්, පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ අනුවත් පැහැදිලි වන්නේය. “අම්බලම” අනාදිමත් කාලයක පටන් ජන සමාජය තුළ සක‍්‍රීය ව පැවති නවාතැන්පොළකි. අනුරාධපුර, පොළොන්නරු යුුගවල දී පටන්ම මෙරට ජන සමාජය හා බැදී පැවතුණු මෙම විශිෂ්ට ගෘහ නිර්මාණාංගය එ කල ඉසිඹුහල්, මාවත් මඩු, ආගන්තුක ශාලා, අම්බර, මඩම්, අම්බිලි, අම්බෙ ආදී නම් වලින් හදුන්වන ලද බව සාහිත්‍යය මූලාශ‍්‍රයන්ට අනුව පෙනේ (දසනායක 2005:45). උම්මග්ග ජාතකය, සද්ධර්මරත්නාවලිය, සැලළිහිණි සන්දේශය, නීලකොබෝ සහ අෂ්ටනාරි සන්දේශය වැනි සාහිත්‍යය මූලාශ‍්‍රයන්හි අම්බලම් පිළිබඳ ව සඳහන් ය. චතුස්සාලා ලෙස සෙල්ලිපි වල සඳහන්වන්නේ ද සිව්දෙසින් ප‍්‍රවේශ විය හැකි අම්බලම් බව ඇතැමුන්ගේ අදහසයි (Geiger 1964:268, Vidanapatirana 2008:224), ක‍්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයත් වන මහනුවර දිස්ත‍්‍රිකයෙහි හිඳගල පර්වත ලිපියෙහි සඳහන්වන “පටසල අබළ” යන්නට නිරුක්තියක් සපයන පරණවිතානයන් දක්වන්නේ එහි අදහස ද පටසල නම් අම්බලම බවයි (Paranavitana 1958:4). අම්බලම් විශේෂයෙන් සාදන ලද්දේ ප‍්‍රසිද්ධ මංමාවත් අසළ ය. නොඑසේ නම් වෙල් යායක් අද්දර, වෘක්ෂයන් මූලයෙහි මෙන්ම කුඩා කදු ගැටයන් මත ද අම්බලම් ගොඩනගා තිබේ. පුරාණ මංමාවත් බොහෝ විට කුඹුරු යායවල් ඔස්සේ වැටුණු හෙයින් බොහෝ සෙයින් විශාල කුඹුරු යායවල් අසළ පාර අයිනේ අම්බලම් දක්නට ලැබුණු බව සඳහන්වේ (ගොඩකුඹුර 1993:6). පනාවිටිය අම්බලම පිහිටා තිබෙන්නේ ද මෙවන් වෙල්යායක් අසබඩ ය. පැරණි ප‍්‍රසිද්ධ මාවත්වල ළං ළංව මෙවැන් ගොඩනැගිලි බොහෝ ගණනක් තිබුණු බවත්ලඑම අම්බලම් අමුත්තන්ගේ නැවතුම් පොළක් වශයෙන් නොවල තොරතුරු හුවමාරු කරගැනීමට හා විවේකයෙන් බුලත් විටක් කෑමට ද භාවිත වූ බවත්, එසේම එය ගම්සභාව පවත්වන තැන මෙන් භාවිත වූ බවත් කුමාරස්වාමි මහතා දක්වන්නේය (කුමාරස්වාමි 1962:116-117). නොයෙක් සෙල්ලම් කී‍්‍රඩා ද අම්බලමේ පවත්වා ඇත. එසේම අම්බලම ගමේ ආදායම් එක්කරන කන්තෝරුවක් විය. මෙම අම්බලම් විශේෂයෙන්ම ඉදිකරන ලද්දේ දුර බැහැර රාජකාරි සඳහා හෝ නෑ ගමන් හෝ වන්දනා ගමන් හෝ යන මගීන්ගේ ප‍්‍රයෝජනය පිණිසය. අම්බලම ගමට පිටින් එන්නන්ගේ නැවතුම් පොළ ද විය (සිරිමල්වත්ත 2005:221).

පනාවිටිය අම්බලම (ඉදිරිපස පෙනුම)

අම්බලම ශිව දෙවියන් අදහන පිරිසකගේ විශේෂ ස්ථානයක් ලෙස සලකන ලද බවත්, මෙය දෙවියන් වාසය කරන එමෙන්ම ශිව දෙවියන්ගේ තාණ්ඩව නැටුම් රඟ දක්වන ස්ථානය ලෙසද සැලකේ (එම).

පුරාණ අම්බලම් ඉදිරිපිට තබන ලද පින්තාලිය නොහොත් පැන්තාලිය අම්බලමේ සිට විඩා නිවාගන්නා මගීන්ගේ පැන් පහසුව සලසන ලදී. බොහෝ අම්බලම් අසළ පිංතාලි, ඌරා කැට ළිං ඉදිකර තිබූ බව සඳහන්වීමෙන් පෙනීයන්නේ මගීන්ගේ සුඛවිහරණය සැලසීම ද අම්බලම් ඉදිකිරීමෙහි තවත් පරමාර්ථයක් වූ බවයි. ගැමි සමාජයෙහි උපයෝගීතාව මත පදනම්ව ගැමියාගේ දෑතින් ගොඩනැංවුණු අම්බලම පැරණි ගෘහනිර්මාණ ශිල්පය හැදෑරීමේ දී වැදගත් ගොඩනැගිල්ලකි. අම්බලම් බොහෝ අවස්ථාවන්හි ඉදිකරන ලද්දේ දැවයෙනි. ඒ සඳහා තෝරාගත් පාදම වූයේ පිහිටි ගලකි. නොඑසේ නම් ගල්, දැව කදන් ආදිය යි. මෙම විශේෂ ගෘහනිර්මාණාංගය අනුරාධපුර යුගයේ පටන් භාවිතයෙහි පැවතෙමින් මහනුවර යුගයේ දී වඩා ඉස්මතු වූත්, වර්ධනය වූත් එකකි. ප‍්‍රස්තුත අධ්‍යයනයට ලක්වන දේවමැදි හත්පත්තුවෙහි පනාවිටිය අම්බලම ද එකී නිර්මාණාවේශයෙහි උත්කෘෂ්ට වූ කලාත්මක ප‍්‍රතිඵලයකි.

අම්බලම පුරාණ ජන සමාජය හා අත්‍යන්තයෙන්ම බැදී පැවති ගෘහ නිර්මාණාංගයක් බව ජන සාහිත්‍යයෙන් ද සනාත වේ. හුදී ජනයා තම විවේක අවස්ථාවන්හි දී කතාබසෙහි නියැලීමට ද, කෙළිකවට කමෙහි නිරත වීමට දඅම්බලමට ගොඩවැදුණු බවට තොරතුරු ලැබේ.

ජන සාහිත්‍යයෙහි එන අතැම් ජන ගී අම්බලම හා බැදි ජනජීවිතයේ ස්වභාවය මොනවට විදහාලන්නේ ය.

මන්දාරමට උඩ කෙළිනා වැහි ලේනී
ගොනුගෙ කරේ බැන්දා වැනි බර ගෝනී
වෙල ළඟ අම්බලම කාටත් පර වේණී
මට තනි නැත නුඹ නාඩන් උල ලේනීී

අල්ලාගෙන නෙරිය අතකින් කිම ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම ද නගෝ
හිමි නැති මහපාරෙ තනියෙන් කිමද නගෝ
අම්බලමේ අපි නැවතී යමු ද නගෝ

පනාවිටිය අම්බලම

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රිකයේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළයේ පිහිටි පනාවිටිය නම් ගම්මානයෙහි සොඳුරු වෙල් යායක ඉස්මත්තෙහි පනාවිටිය අම්බලම පිහිටා ඇත. එය වනාහි හෙළකලාකරුවාගේ කලා නෙපුණ්‍යතාවත්, කෘතහස්ථභාවයත් මනාව විදහාලන නිර්මාණයකි.

ගමන් මාර්ගය

ගිරිඋල්ල – කුරුණෑගල මාර්ගයේ මැටියගනේ හන්දියෙන් වමට හැරී සැතපුම් දෙකක් පමණ ගමන් කිරීමෙන් ද, නාරම්මල – කුලියාපිටිය මාර්ගයේ දංගොල්ල හන්දියෙන් වමට හැරී යන මාවතින් ද මෙම දර්ශනීය පනාවිටිය අම්බලමට ළඟාවීමට හැකි ය.

මෙම අම්බලම ස්ථාන ගත වී ඇත්තේ දීකිරිකෑව-පනාවිටිය ශ්‍රී ලංකාතිලක විහාරයත්, විශාල වෙල් යායකුත් මැදිකොට ගනිමිනි. අම්බලම ඉදිරිපිටින් දිවෙන වෙල් යාය ඔස්සේ දඹදෙණියේ සිට යාපහුවට හා කුරුණෑගලට දිවෙන මාර්ගයක් පැවති බව පැරැන්නන්ගේ අදහසයි. තවද මෙහි සිට අනුරාධපුරය ඓතිහාසික නගරය හා සම්බන්ධ වූ පැරණි ගමන් මාර්ගයක් ද තිබූ බව දැක්වේ (Karunaratne 1971:121). පනාවිටිය අම්බලමේ ස්ථානගත වීම සම්බන්ධයෙන් වැදගත්වන තවත් අදහසකි. දඹදෙණිය රාජධානි සමයේදී පා ගමන් සඳහා යොදාගන්නා ලද අඩි පාරක් දඹදෙණි මාලිගාවේ නැගෙනහිර දොරටුවෙන් පටන් ගෙන වීරේ අම්බලමෙන් ඊසාන දිගට විහිදී ඇත (වීරේ අම්බලම අද දක්නට නොලැබුණත් එය පිහිටියා යි සැලකෙන ඉඩමට අදත් ගැමියන් ර්‍ණඅම්බලමේ කෑල්ල” යැයි ව්‍යවහාර කරන බව දැක්වේ). එම අඩි පාර පනාවිටිය අම්බලම දක්වා ද ගමන්කොට නැවත ඊසාන දෙසට හැරී දීකිරිකෑව හා ඉන් ඔබ්බෙහි පිහිටි කරගහගෙදර අම්බලම පසුකොට යාපහුව දක්වා වැටී ඇත (අත්ථදස්සී 2000:5-6).

අම්බලමේ සැලැස්ම

පනාවිටිය අම්බලම ගොඩනැංවීම සඳහා යොදාගෙන ඇත්තේ චතුරස‍්‍රාකාර සැලැස්මකි. කැට ගල් හා කැඩූ ගල් වලින් පුරවා අඩි භාගයක් පමණ පොළව මට්ටමින් උඩට උස් වූ ගෙපළක් පිට තැබූ අඩියක් පමණ උසැති ගල් පිට තැබූ දැව කඳන් මත අම්බලම ගොඩනගා ඇත. ගොඩනැගිල්ලේ ගෙපළ දිගින් අඩි දොළහයි අඟල් හතරක් හා පළල අඩි නවයයි අඟල් හයක් වේ. දැව අඩියේ පටන් අඟල් හය දක්වා ඝන වේ (ගොඩකුඹුර 5). මෙම දැව සැලැස්ම ගොඩනංවා ඇත්තේ සිව් කොණෙහි තබන ලද රවුම් පාෂාණ හතරක් මතය. පසු කාලීන ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂණ යටතේ එම පාෂාණ මැදිකොට කළු ගලින් පාදමක් ගොඩනංවා ඇත. සතරැස් සැලසුම මත සතරැස් ආකාරයට සිටින සේ අඩි හතරක් පමණ විෂ්කම්භය ඇති චතුරස‍්‍රාකාර කොට දමා එහි සවි කරන ලද කුලුණු හතරක් මත වහළය ගොඩනඟා තිබේ. අම්බලමේ මුළු කුලුණු ගණන විසි හයකි. දොරටුවට සමාන්තරව පිටු පසට යෙදූ ප‍්‍රධාන කුළුණු ද්වය මැදි කොට ගෙන දෙපේළියට යෙදූ කුලුණු දොළස බැගින් දෙපසට යෙදී තිබේ. එහි ඇතුළු වටයේ කුළුණු නවයකි. අඩි හතක් උසැති මෙම කුළුණු මධ්‍යයෙහි පනේල බේරා ඒවා විසිතුරු රූකම් වලින් කැටයම් කර ඇත. මුළු පනේල කැටයම් සංඛ්‍යාව තිස් හයකි. කුළුණෙහි කෙළවර වහළයට සම්බන්ධ වන්නේ නෙළුම් මල් කැටයමින් යුත් පේකඩයකිනි. අම්බලමේ සියලු කුළුණු වල පනේල බේරා කුළුණු බද අටපට්ටම් හැඩයට සකස් කර තිබේ. මෙම නිර්මාණ සැලැස්ම සම්බන්ධයෙන් චාල්ස් ගොඩකුඹුරයන් පහත ලෙස අදහස් දක්වන්නේ ය.

“සම කාලීන ගෘහ නිර්මාණ ශිල්පයෙහි උච්චතම අවස්ථාවක් නිරූපණය කරන බැව් පෙනේ. කැණිමඩල දක්වාම එක හා සමානව සරල ලෙස කැටයම් කොට ඇත. මුළු පරාල සංඛ්‍යාව තිස් දෙකකිගඒ සියල්ලක්ම මඩොල් කුරුපාව මගින් විශිෂ්ට ලෙස සම්බන්ධ කර ඇත. වහළයේ හරහට දමා ඇති විශාල බාල්ක දෙකකි. එය අලංකාර කැටයමින් සරසා ඇත. මුදුන් යට ලීයේ දිග අඩි තුනයි අඟල් හයකි. වහළයේ වඩු වැඩ, බාල්ක, තලන්, යටලී, හරස් යට ලී, කතුරු ලී, කුරුපා, පරාල, මුදුන් පරාල හා මුදුන් යටලීයෙන් ද යුක්තය” (එම).

පනාවිටිය අම්බලමේ වහළය ඉතා විශිෂ්ට ගණයෙහි කැටයමින් සමන්විත වූවකි. මහනුවර යුගයෙහි දියුණුවට පත් වූ දාරුමය ගෘහ නිර්මාණ ඉදිකිරීම් ශිල්පයෙහි තවත් දියුුණුම අවස්ථාවකට එය නිදසුනකි.

මඩොල් කුරුපාව (වම) හා පේකඩ කැටයම් (දකුණ)

කැටයම් කරන ලද පරාල තිස් දෙකක් මඩොල් කුරුපාව නමින් හැදින්වෙන්නා වූ කැටයම් වලින් සමලංකෘත විශාල ලී ඇණයක් මගින් එකට සම්බන්ධ වී අලංකාර කැණිමඩලක් වහළය මත නිමවා ඇත. මුදුන් බාල්ක දෙකකි. ඒවා ද විවිධ කැටයමින් සරසා ඇත. අලංකාර පියුමක් හා ලියවැල් කැටයමක් ඒ අතර වේ. මෙහි වහළය කේතු ස්වරූපයක් දක්වන අතර, වහළය වටා බීරළු රටාවක් දක්නට ලැබේ. වර්තමානයෙහි දක්නට ලැබෙන අම්බලමේ වහළය සෙවිලි කර ඇත්තේ පෙති උළු වලිනි. එය වර්ෂ 1960 දී මෙම ස්ථානයෙහි සිදු කරන ලද තහවුරු කිරීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස හදුනාගත හැකි වේ. මෙම තහවුරු කිරීමට පෙර අම්බලමෙහි වහළයට පොල් අතු සෙවිලි කර තිබූ බව 1960-1961 පුරාවිද්‍යා කොමසාරිස් පාලන වාර්තාවේ සඳහන්වේ. අම්බලම ඉදි කරන සමයේ දී එහි වහළයට මැටි උළු සෙවිලි කරන ලද බවට සාධක හමු වී ඇත.

අම්බලමෙහි යටගියාව පිළිබදව අදහසක් ලබා ගැනීමෙහි ලා පාලන වාර්තාව මෙහි උපුටා දැක්වේ.

1960-1961 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව

පනාවිටිය අම්බලම

අම්බලම ඉතා අබලන්ව එහි මුදුනේ කැණිමඩල කැඞී පරාල වෙන්ව ගොස් තිබුණා (ගොඩකුඹුර 1960:42).

තහවුරු කිරීම

දහසය වන සියවසෙන් පෙර කාලයට අයත්ය. දැව දඬු බොහෝ දුරට දිරාපත්ව තිබුණි. යටගිය දවස සිංහල කැටයම්කරුවාගේ කෘතහස්තභාවයට දෙස් දෙන්නට සෑහෙන තරම් ඉතිරිව තිබුණි.
පරණ ලී වලින් හැකි තරමක් ද, පුරාණයේ යොදා තිබූ වර්ගයේම ලී ද යොදා තහවුරු කිරීම. ඉවත් කළ පැරණි ලී රසායනික ද්‍රව්‍ය යොදා අනුරාධපුර කටුගෙට යැවීම (එම 1961:12).

බිම එළි පෙහෙළි කරද්දී පසට යට වී තිබූ ගල් බැම්මක් පෑදුණි. බැම්ම සුද්ද කර අලූතින් සෑදීම (එම 13).
තහවුරු කිරීම සිදුකෙරෙන අවස්ථාවේ හමු වූ අවට විසිරී තිබූ උළු කැබලි වලින් අම්බලමේ වහළයට මුල් කාලයේ දී උළු සෙවිලි කර තිබූ බව තහවුරු කෙරිණි. අවට විසිරී තිබී හමු වූ උළු කැබලි වර්ග තුනකට අයත් වේ. ඒවා සෘජුකෝණාස‍්‍රාකාර පැතලි උළුල කේතු ආකාර පැතලි උළු හා මුදුන් උළු කැබලි ලෙස සඳහන්වේ (Karunaratne 1971:124).

කැටයම් හා අලංකරණ

පනාවිටිය අම්බලම වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි දක්නට ලැබෙන කැටයම් අලංකරණ හේතුවෙනි. අම්බලමෙහි ඇතුළු වටයෙහි සියලු ම කුළුණු කැටයමින් සමලංකෘතය. මෙහි පනේලයන් මත දක්නට ලැබෙන කැටයම් සම කාලීන සමාජයෙහි නෛසර්ගික ප‍්‍රතිමූර්තීන් ලෙස හදුනාගත හැකි වේ. ගැමි ජනයාගේ දෛනික ජීවිතයෙහි විවිධ අවස්ථා මෙම කැටයම් මගින් විදහාලන්නේ ය. උදාහරණ ලෙස ආචාර සමාචාර දැක්වීම, නැට්ටුවා, පෙරහැර, නළඟන, මල්ලව පොර ශිල්පීන් දෙදෙනා හා බෙරකරුවා ආදී නිර්මාණ කලාත්මක පාර්ශවයෙන් උසස් ගණයෙහිලා සැලකේ. උතුරු පසෙහි මධ්‍යයෙහි ඇතුළු වටයෙහි පිහිටි ප‍්‍රධාන කුළුණ අම්බලමේ දක්නට ලැබෙන කලාත්මක අතින් උසස්ම කුළුණයි. මෙම කුළුණෙහි ඉහළ කොටස වෘත්තාකාරය. මධ්‍යයෙහි පනේල හතරකි. සම්පූර්ණ කණුවම කැටයමින් සරසා ඇතග. කුළුණෙහි නෙළුම් පෙති වෙනුවට නයි පෙන හතරක් යොදාගෙන තිබේ. කුළුණෙහි ඉහළ කොටසෙහි කැටයම් කරන ලද දඟර ගැසෙමින් යන නාගයන් හතර දෙනෙකි. පේකඩ මත දිග් අතට හා හරස් අතට යොදා ඇති යටලී ලියවැල් මෝස්තරයන්ගෙන් හෙබිය. මෙහි කැටයම් ඉතා සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම තෙක් විහිදේග මෙහි අන්තර්ගත කැටයම් ක‍්‍රිස්තු වර්ෂ දහඅට වන සියවසට පමණ අයත් බැව් සැලකේ. කැටයම් අතරෙහි මිනිස් රූප, සත්ත්ව රූප, මල්, කොළ ආදිය වේ. එසේම වැල් ගැට, තරු ආදිය ද වේ. සියලුම රූප සකස් කර ඇත්තේ ලී වඩුවාගේ නියන පහසුවෙන් යොදා ගන්නට පුළුවන් වන සේ මිනුම් ගණිත ක‍්‍රමයට හරිහැටි සම කොට බෙදා ගන්නට පුළුවන් ක‍්‍රම වලටය (ගොඩකුඹුර 5).

නාග දගරය

අම්බලමෙහි කැටයම් අතර නාග රූපයට විශේෂත්වයක් හිිමි වී තිබෙන ආකාරය ප‍්‍රධාන කණුවෙහි පනේලයට ඉහළින් කැටයම් කර තිබෙන දඟර ගැසෙමින් යන නාගයන් සිව්දෙනාගේ කැටයමිනුත්, නාග දඟරය කැටයමිනුත් පෙනේ. මෙහි දක්නට ලැබෙන නාග කැටයම් සංඛ්‍යාව 45කි. මෙම විශේෂත්වය සම්බන්ධයෙන් දසනායකයන් දක්වන අදහස වන්නේ, මෙහි කැටයම් කලාකරුවා තුළ කිසියම් ගුප්ත විශ්වාසයක් තිබූ බව ඉන් ගම්‍ය වන බවයි (දසනායක 2000:122).

පනාවිටිය අම්බලමේ කැටයම් තුළින් විවිධ කලා ආභාසයන් පිළිබඳව ද අධ්‍යයනය කළ හැකිවේ. ඉදිරිපස බාල්කය අභිමුඛයෙහි හා ප‍්‍රතිමුඛයෙහි කැටයම් කර තිබෙන වෙස් නැට්ටුවා පහතරට කලා ආභාසය පෙන්වන්නේය. නළඟන, නැට්ටුවා හා ගැටබෙරය වයන බෙරකරුවා උඩරට කලා ආභාසයට හා රංග වස්ත‍්‍රාභරණ පිළිබඳව නිදසුන් සපයන්නේය. සම කාලීන උඩරට නැටුම් වල උපයෝගී කරගන්නා සාම්ප‍්‍රදායික ඇඳුම් මෙම රූපවල බොහෝමයක් දක්නට ලැබේග කුණ්ඩලාභරණ දක්වා ඇත්තේ ප‍්‍රකෘතියට වඩා අතිශයෝක්තියෙනිග නිළිය හැට්ටයක් ඇඳ ඇති බව පෙන්වා ඇත්තේ ඉරකිනි (එම). පියවුරු නොමැති වී නම් කාන්තා රූප හදුනා ගැනීමට අපහසු වනවා නොඅනුමානය. ක‍්‍රියාශීලිත්වය හා සමබර බව මනාව විදහාලන මල්ලව පොර ශිල්පීන් දෙදෙනාගේ කැටයම උඩ යට මාරු කර බැලූවත් එකම අයුරින් සිටින පරිදි කැටයම් කිරීම මෙහි නිර්මාණ ශිල්පියාගේ් කෘතහස්තභාවය විදහාලන තවත් එක් නිදසුනක් පමණි.

අම්බලමේ පනේල කැටයම් අතර හඳුනා ගැනෙන සත්ත්ව රූප සම කාලීන නිර්මාණයන්හි බොහෝ දුරට දක්නට ලැබෙන මනඃකල්පිත බවට දෙස් නොදීම විශ්ෂත්වයකි. මෙම නිර්මාණ අතරින් සිංහයා, නාගයා, මුවා, මුවදෙන, මොනරා, සෙබඩ හා ඇතා වැනි කල්පිත සත්ත්ව මෝස්තර හදුනාගැනේ. ඒ අතරම හඳුනාගතහැකිවන ගරුඩ පක්‍ෂියාගේ රූපය කැටයම් අතර දක්නට ලැබෙන එකම මනඃකල්පිත රූපය ලෙස දැක්විය හැකිය. මහනුවර යුගයෙහි චිත‍්‍ර හා කැටයම් නිර්මාණ අතර බහුලව යෙදෙන මනඃකල්පිත රූප හා සංකේතයන්ගෙන් පනාවිටිය අම්බලම වියුක්ත වීම සැබවින්ම විශ්මයාර්තය මතුකරන්නකි. එහෙත් පනාවිටියේ කැටයම්කරුවා ප‍්‍රදේශීය ජන විශ්වාසයන් මත යැපෙමින් ස්ව නිර්මාණයට ස්වාධීනත්වයක් ගෙන දීමට උත්සාහ ගෙන ඇති බව සැලකිය හැකිවේ. මෙහි මෝස්තරකරණයන් අතර මල් මෝස්තරයන්ට ද විශ්ෂත්වයක් හිමිවන්නේය. ඒ අතරින් නෙළුම් මල ප‍්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන අතරල අම්බලමෙහි දක්නට ලැබෙන මුළු නෙළුම් මල් කැටයම් ගණන 15කි. නෙළුම් මල නිර්මාණයේ දී විවිධ රටාවන් අනු දැක තිබේ. පිපුණු මල්ල පොහොට්ටු ඒ අතරවේ. පහතට හැරුණු නෙළුම් මල සහිත පේකඩ සැරසිලි ද අම්බලමෙහි කැටයම් අතර විශිෂ්ට නිර්මාණයන් ලෙස සැලකේ. නෙළුම් මල ජ්‍යාමිතික හැඩතල අනුව 4, 8 හා 16 කොටස් වලට බෙදා නිර්මාණය කර ඇත (Karunaratna 1971:126). පේකඩ වල අරලිය කොළ සතරට මැදිකොට නෙළා ඇති පෙති 16ක නෙළුම් මල් ඇත. එය මෙහි විශේෂ කැටයමකි. සෑම කුළුණකටම මලක් යෙදීමට කැටයම්කරුවා අමතක කරනැත (දසනායක 2000:121-122). ලියවැල, ලණුගැටය හා පැඳුරු රටා ආදී සාම්ප‍්‍රදායික කැටයම් මෝස්තර ද පනේල කැටයම් අතර දක්නට ලැබේ. පනාවිටිය අම්බලමෙහි ලණුගැට කැටයමට අත්‍යන්තයෙන්ම සමාන කැටයමක් ඇම්බැක්කේ දේවාලයෙහි ද දක්නට ලැබීම සම කාලීන කලා ආභාසයන්හි විහිදීමට අනඟි නිදර්ශනයකි. පරාල කැටයම් අතර දක්නට ලැබෙන ලියවැල් අපූර්වත්වයෙනුත්, සජීවි බවිනුත් පරිපූර්ණ නිමැවුම්ය. පනේල රාමු තුළ දිග හැරෙන ගල්බිංදුවල මල වැනි මෝස්තරයන්ගෙන් පෙනී යන්නේ කැටයම්කරුවාගේ දෙනෙතින් මඟහැරුණු අවකාශයක් පනාවිටිය අම්බලමෙහි තවත් නොවන බවයි.

නළඟන (වම), මල්ලව පොර ශූරයින් (මැද) හා ආගන්තුක සත්කාරය (දකුණ) දක්වන කැටයම

මෙම කැටයම් තුළින් සම කාලීන සමාජයෙහි ඇදුම්පැළඳුම්, චාරිත‍්‍රවාරිත‍්‍ර, භාණ්ඩල ගෘහ නිර්මාණකරණය හා සමාජ ස්තරණය පිළිබඳව ද අධ්‍යයනයට ලක්කළ හැකි ය. නයිගැට කැටයමට ඉහළින් පිහිටි ආරුක්කුවල පලාපෙති මෝස්තරය හා ලිය වූ කකුල් සහිත බංකුවල ඒ මත හිඳ සිටින ප‍්‍රභූවරයෙක් ලෙස සැලකිය හැකි පුද්ගලයා ආදී කැටයම් මගින් උක්ත අදහස තහවුරු කරලන්නේ ය.

පහත දැක්වෙන්නේ පනාවිටිය අම්බලමෙහි දක්නට ලැබෙන කැටයම් වර්ගීකරණයකි.

මිනිස් රූප  සත්ත්ව රූප  වෙනත්
සක් පිඹින්නන් 2 සිංහයන් 8 යක්‍ෂයන් 1
නලා පිඹින්නන් 2 මොනරුන් 3 බෝ කොළ 40
ඇත් ගොව්වන් 2 මුවන් 2 පැඳුරු වියන් 7
මල් පූජා කරන හෝ ආචාර සමාචාර 2 නාගරූප 7 නෙළුම් මල් 15
කාන්තාවන් 2 නයිපෙන 36 ලියවැල් 12
බෙරකරුවන් 2 අලි 4 ලණු ගැට 12
අංගම්පොර 2 ගරුඩ 1
නාටිකාංගනාවෝ 4 නයිගැට 1
නැට්ටුවන් 2 ලිහිණියෝ 1  (දසනායක 2000:121)

දසනායකයින් මෙහිලා යක්‍ෂයින් ලෙස හදුනාගන්නා කැටයම් ගොඩකුඹුර මහතා හදුනාගෙන ඇත්තේ වෙස් නැට්ටුවන් ලෙසිනි (ගොඩකුඹුර 6)

දැව හා පිහිටි පාෂාණයන් මත ගොඩනැගිලි ඉදි කිරීමේ කලාව ලංකාවේ ජනප‍්‍රිය වන්නට වූයේ මධ්‍ය කාලීන යුගයෙහි පටන්ය. එයින් ද මහනුවර යුගය කැපී පෙනෙයි. මහනුවර මඟුල් මඩුව, ගිරිහාගම වලව්ව, කුරුණෑගල – වාරියපොළ පාදෙණිය විහාරය, ඇම්බැක්කේ දේවාලය, ලංකාවේ විවිධ ප‍්‍රදේශයන්හි ව්‍යාප්තව තිබෙන ටැම්පිට විහාර (වයඹ පළාත ආශ‍්‍රිත බිහල්පොළ, කෝඳුරාපොළ, බිංගිරිය, වතුවත්ත, නිකවැරටිය, දොරබාවිල ටැම්පිට විහාරය හා දඹදෙණිය පුරාණ රාජධානියෙහි පැරණි දළදා මාලිගය ලෙස හදුන්වන ටැම්පිට පිළිම ගෙය ද මහනුවර සමයෙහි ගොඩනංවන ලද්දක් බව ලංකාවේ පැරණි දළදා මාලිගා සම්බන්ධයෙන් විශේෂ ලිපියක් සැකසූ ආචාර්ය පියතිස්ස සේනානායකයන් අප සමඟ පැවසී ය). ආදිය විමසීමේ දී මධ්‍ය කාලීන ලංකාවේ දැවකම් නිර්මාණයන් ඉතා ඉහළ තත්ත්වයක පැවති බැව් පෙනේ. පනාවිටිය අම්බලම නිර්මාණයේ දී එකී නිර්මාණයන්ගේ ආභාසයන්ට ලක්ව පවතින අයුර හදුනාගත හැකිවන්නේ ය. ජනප‍්‍රවාද අනුව පනාවිටිය අම්බලම දඹදෙණි රාජධානි සමයෙහි ඉදිකෙරුණක් බව පැවසුන ද එහි නිර්මාණ ශිල්පය සෘජුව නෑකම් කියන්නේ මහනුවර යුගයටය. තවත් ජනප‍්‍රවාදයකට අනුව මෙම අම්බලම සාදන ලද්දේමහනුවර මඟුල් මඩුව සෑඳූ කලාකරුවාගේ පුත‍්‍රයා බව කියැවේ. එම පියා හා පුතා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන් වී පියා මඟුල් මඩුවත්, පුතා මෙම පනාවිටිය අම්බලමත් ගොඩනැගූ බවත්, මෙහි ඉද්ද ගැසීමේ දී ඇති වූ දෝෂයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාම හමුවූ අවස්ථාවේ මිය ගිය බවත් කියැ වේ.

පනාවිටිය අම්බලම වූ කලී දේශීය කලාකරුවාගේ අනගි නිර්මාණාත්මක දායාදයකි. එය නවාතැන්පොළක් මතු නොව, කලාගාරයකි. පුරාණ මාර්ග පද්ධතිය හදුනාගැනීමේ දී ආධාරක වන ස්මාරකයක් වන පනාවිටිය අම්බලමට සොඳුරු කලා නිර්මාණයන් රැසක නිහඩ සාක්‍ෂ්‍යකරුවෙක් වන්නාසේම, ලංකාවේ කලාත්මක මෙන්ම ඉහළම තාක්‍ෂණයක් පෙන්නුම් කරන්නා වූ කැටයම් වැඩිම අම්බලම ද වන්නේය.

ලණු ගැටය (වම) හා හේරුණ්ඩ පක්‍ෂියා (දකුණ)

මහනුවර යුගය නියෝජනය කරනා දේශීය කැටයම් හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන්නන් හට මෙය නිකැලැල් තෝතැන්නකි. විටින්විට සංරක්‍ෂණයට හා තහවුරු කිරීමට බදුන් කළ ද අම්බලමෙහි ප‍්‍රකෘති ස්වභාවයට හානි නොවන පරිද්දෙන් එම මැදිහත් වීම් කරතිබීම මෙම ස්මාරකයෙහි වැදගත්කමට තවත් හේතුවකි. 1960-1961 අතර රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතෙහි තහවුරු කරන ලද පනාවිටිය අම්බලම වර්තමානයෙහි දඹදෙණිය පුරාවිද්‍යා කාර්යයාලය යටතෙහි නඩත්තු වන අතර, හෙළ දෙරණෙහි උරුමයට අදරැති පනාවිටිය ගමේ ගම්වැසියන් මෙම සොඳුරු කලාකෘතිය රැකගන්නේ සෙනෙහසිනි. වෙල් යාය පිස හමන සිහිල් සුළං රැළි ගත වටා දැවටෙද්දී, නිසංසල වූ බිමක මෙම සුන්දර කලාකෘතිය හා තනි වන විට හද දැහැන්ගත වන්නේ නිරායාසයෙනි.

පනාවිටියෙන් සමුගන්නට මත්තෙන් තවත් යමක් සනිටුවහන් කිරීම වටී. දඹදෙණිය රාජධානි සමයෙහි යාපහුව දක්වා විහිදුණු ගමන් මගක් පැවති බවත් එහි තැනින්තැන අම්බලම් ඉදිකර තිබූ බවත් ඉහත දී දැක්වූවා ඔබට මතක ඇති. ඒ බවට දෙස් දෙන්නට නුදුරින් පිහිටි කරගහගෙදර ගම්මානයෙහි වෙල් යායක් මත නැගුණු ගල් තලාවක ඉදි වූ අම්බලම ද නැගී සිටින බව අමතක කළ නොහැකි ය. පැරණි පඩුවස්නුවර දක්වා වූ මාර්ගයට සම්බන්ධව මෙම අම්බලම නිමවා ඇති බව දැක්වේ. මීට අමතරව වර්ෂ 1782 දී ඉදිකරවන ලද බෝගහපිටිය අම්බලම නම් විශිෂ්ට කැටයමින් සමලංකෘත වූ අම්බලමක් පිළිබඳ ව ද 1972 සංස්කෘත්ක දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශයට පත් කළ ‘පැරණි ස්මාරක නාමාවලිය’ හි සදහන් වුවද (දසනායක 2000:126) වර්තමානයේ දී මෙම අම්බලමෙහි නටබුන් වුවද ශේෂ වී නොමැත.

සම කාලීන ජනජීවිතයෙහි කැටපතක් ලෙස අධ්‍යයනයට ලක්කළ හැකි අම්බලම යනු වචනයෙහි පරිසමාප්ත අර්ථයට එහා යන්නා වූ නිර්මාණාංගයක් බවට පනාවිටිය අම්බලම සාක්‍ෂි දරන්නේ ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • අත්ථදස්සී හිමි, ගලගම (2000), විහාර වංශය, මැටියගනේ මයුරාවතී රාජමහා විහාරය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • කුමාරස්වාමි, ආනන්ද (1962), මධ්‍ය කාලීන සිංහල කලා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ගොඩකුඹුර, චාල්ස් (1962), 1960-1961 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, ලංකාණ්ඩුවේ මුද්‍රණාලය, කොළඹ.
  • ගොඩකුඹුර, චාල්ස් (1962), පනාවිටිය අම්බලමේ කැටයම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ගොඩකුඹුර, චාල්ස් (1993), පනාවිටිය අම්බලම, පුරාවිද්‍යා, සංස්කරණ : සිරිසමන් විජේතුංග, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • දසනායක, රෝහිත (2000), අම්බලම හා සමාජය, සමයවර්ධන මුද්‍රණ, කොළඹ.
  • දසනායක, රෝහිත (2005), අම්බලම, මධ්‍යකාලීන කලා හා ගෘහනිර්මාණ ශිල්පයේ පැතිකඩක්, වයඹ පුත‍්‍ර ප‍්‍රසාදිනී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්කරණය : අනුර මනතුංග, ගාමිණී අදිකාරි හා පිරිස, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • ලගමුව, ඒ. (1997), ඔක්. – දෙසැ., මහනුවර යුගයේ දැව කැටයම් කර්මාන්තයේ කලාත්මක ස්වරූපය හා ශිල්පීය තාක්‍ෂණය, සංස්කෘතික පුරාණය, II වෙළුම, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • විමලවංශ හිමි, බද්දේගම (2000), අපේ සංස්කෘතිය, සමයවර්ධන පොත්හල, මරදාන.
  • සිරිමල්වත්ත, වාසනා (2005), ශ‍්‍රී ලංකාවේ අම්බලම්, පුරාතන ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රහය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • Geiger, Wilhelm (1964), The Mahavamsa, The Pali Text Society, London.
  • Karunaratna, L.K. (1971),  January, Architecture In Wood, Ancient Ceylon, Vol. I, Department Of Archaeology, Colombo.
  • Paranavitana, S. (1958), January – April, The Hindagala Rock Inscription, University  of Ceylon Review, Vol.XVI, K. Kanapathipillai, N.A. Jayawickrama and K.N. Jayathilake(ed), University of Peradeniya, Colombo.
  • Vidanapathirana, P. (2008), The Road Network Within the City of Anuradhapura and its Suburbs, Roland Silva Felicitation Volume, ed.by. Nandana Chutiwongs and Nimal de Silva, Postgraduate Institute of Archaeology, Colombo. pp. 220-226.

මෙම ලිපිය www.archaeology.lk/Sinhala වෙබ් අඩවියේ 2017 අපේ‍්‍රල් 17 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 8 : රත්නපුර ශිලා කර්මාන්තය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
chandimaambanwala@yahoo.com

හැඳින්වීම

චන්දිම අඹන්වල

ශ‍්‍රී ලාංකේය මානවයාගේ අතීත සංස්කෘතිය හා තාක්‍ෂණය පිළිබිඹු කරන පැරණිම සාධක අතර රත්නපුර දියළු නිධියෙන් අනාවරණය වන ප්ලයිස්ටෝසීන (භූමි ස්කන්ධය සම්පූර්ණයෙන් ම හිමෙන් වැසී තිබුණු කාලපරිච්ෙඡ්දය) අවධිය නියෝජනය කරන සාධක පවතී. මෙම ලිපි මාලාවේ හත් වැනි ලිපියේ දි පෙන්වා දී ඇති පරිදි ලංකාවෙන් වද වී ගොස් ඇති හා තවමත් සුරක්‍ෂිත ව පවත්නා සත්ත්ව විශේෂ ගණනාවක් හා ශාක විශේෂ කීපයක් පිළිබඳ සාධක මෙම තැම්පතු තුළින් අනාවරණය වේ. ඒ අතුරින් නූතන මානවයා වන හොමෝ සේපියන්ස් මානවයාට (බලංගොඩ මානවයා) පූර්වයේ ජීවත් වූ හොමෝ පිතෙකස් (Homopithecus sinhaleyus) හා හෝමෝ සිංහලේයුස් (Homo sinhaleyus) නම් මානව වර්ග දෙකක් පිළිබඳ සාධක ද අනාවරණය වීම ලංකාවේ මානව පරිණාමය පිළිබඳ කතාවේ දී ඉතා වැදගත් වූවකි. මෙම සාධක අතර එකල මේ භූමිය මත ජීවත් වූ මානවයින් විසින් භාවිත කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ගල් මෙවලම් පිළිබඳ සාධක ද යම් ප‍්‍රමාණයක් අනාවරණය වේ. මධ්‍යම කඳුකරයේ පවත්නා කඳු මතින් හිම ගලායාමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම පස් තට්ටු සකස් වීම නිසා ඒවායේ ඇතීරීම ක‍්‍රමවත් හෝ කාලයට අනුරූප නොවන බව හඳුනාගත හැකි වේ. එයින් අදහස් වන්නේ මෙම පස් තට්ටු උඩුකුරු ක‍්‍රමාවලියකට අනුව විධිමත් ව තැම්පත් වූ ඒවා නොවන බවයි. මෙම තැම්පතුවල පවත්නා නොවිදිමත් හා අවුල්සහගත බාවය නිසාම සාමාන්‍ය පුරාවිද්‍යා ක‍්‍රමවේද අනුව කාලනීර්ණය කිරීමේ අපහසුතාවක් පවති. අනෙක් අතට මෙම තැම්පතු පිළිබඳ පුරාවිද්‍යානුකූල ක‍්‍රමවේද ඔස්සේ විධිමත් අධ්‍යයන සිදුකිරීම තවමත් නොමේරු තත්ත්වයක පවතී. ඒ බැවින් මෙම තැම්පතු හෝ ඒවායේ අන්තර්ගත ද්‍රව්‍යය පිළිබඳ විධිමත් හා විශ්වාසනීය කාලනිර්ණයාත්මක තොරතුරු ලබාගැනීම අපහසු වී ඇත.

රත්නපුර කර්මාන්තය (Ratnapura Industry)

රත්නපුර ප‍්‍රදේශයේ මැණික් පතල් තුළින් අනාවරණය වන්නා වූ සත්ත්ව සන්හතිය නිරුපණය කරන සාධක රැසක් අනාවරණය වන බව මෙම ලිපි පෙලේ 7 වැනි ලිපියෙන් සාකච්ඡා කොට ඇත. මෙම සාධක සැපයෙන සන්දර්භ තුළින් ම නැතිනම් එවැනි මැණික් පතල් තුළින් විවිධ ආකාරයේ ගල් ආයුධ හෙවත් ශිලා මෙවළම් අනාවරණය වන බව ද දැකගත හැකි වේ. මේවා අතර පොරෝ ලෙස භාවිත කළ රළු ගල් මෙවළම් නිතරම ලැබේ. පළමුව මෙම සාධක ආචාර්ය පී.ඊ.පී. දැරණියගල රත්නපුර සංස්කෘතිය (Ratnapura Culture) යනුවෙන් හඳුන්වා දුන්න ද පසුව එය රත්නපුර කර්මාන්තය (Rathnapura Industry) යනුවෙන් හඳුන්වා දි ඇත. සංස්කෘතිය යන සංකල්පය පුළුල් වූවක් බැවින් ඊට මිනිසා සතු හැදියාව සිරිත්විරිත්, ආගම්, ආහාර රටා ආදි සකලවිධ අංගයන් ම නියෝජනය විය යුතු ය. එහෙත් රත්නපුර දියලු තැම්පතු තුළින් අනාවරණය වන සාධක තුළින් අදාළ ගල් ආයුධ භාවිත කළ මිනිසාගේ තාක්‍ෂණය පිළිබඳ ව පමණි කරුණු අනාවරණය කරගත හැකි වන්නේ. එබැවින් මෙම ආකාරයට පටු ක්‍ෂේත‍්‍රයකට අදාළ ව පමණක් තොරතුරු අනාවරණය කරගත හැකි බැවින් මෙම තාක්‍ෂණික අංය අයත් ප‍්‍රපංචය රත්නපුර කර්මාන්තය යනුවෙන් හැඳින්වීමට පසුව පී.ඊ.පී. දැරණියගල විද්වතා පෙළඹී ඇති සෙයකි.

රත්නපුර ප‍්‍රදේශයේ මැණික් පතල් තුළින් අනාවරණය වන මෙම ගල් ආයුධ හෙවත් මෙම ශිලා මෙවළම් ප‍්‍රධාන වශයෙන් කිරිපැහැති හා විනිවිද පෙනෙන තිරුවාණා (quartz) හා කහද පාෂාණ (Chert) උපයෝගි කොටගෙන නිර්මාණය කොට ඇති බව ඛනිජ හා පාෂාණ පිළිබඳ කෙරෙන නිරීක්‍ෂයෙන් හඳුනාගත හැකි වේ. මේ අතුරින් තිරුවාණා භාවිත කොට ඇත්තේ කැපුම් දාර සහිත මෙවළම් නිර්මාණය කිරීම සඳහා බව ඒවා නිරික්‍ෂණය කිරීමේ දි පැහැදිලි වේ. රත්නපුර කර්මාන්තයට අයත් ගල් මෙවළම්වල ප‍්‍රමාණය සාමාන්‍යයෙන් අඟල් 9-2 දක්වා වේ. මේවා අතර බෙහෙවින් දැකගත හැකි හැඩ වශයෙන් මණ්ඩලාකාර මෙවළම් (discoid), මන්න (cleaver) හා අත් පොරෝ (hand-axe) හඳුනාගත හැකි වේ. මෙම ගල් ආයුධ නිරීක්‍ෂණය කිරීමේ දී ඒවායේ ප‍්‍රාථමික නිර්මාණ ලක්‍ෂණ හොඳින් හඳුනාගත හැකි නමුත් ද්විතීය නිර්මාණ ලක්‍ෂණ දුර්ලභ වේ. පවත්නා ද්විතීය නිර්මාණ ලක්‍ෂණ ද අක‍්‍රමවත් ස්වභාවයක් ගන්නා බව නිරීක්‍ෂණය කළ හැකි වේ. රත්නපුර මැණික් පතල් තුළින් අනාවරණය වන්නා වූ රත්නපුර කර්මාන්තයට අයත් ගල් මෙවළම් අතර පවත්නා පරමාදර්ශි හැඩය වශයෙන් ඉදිබු ආකාර සීරුම් මෙවළම් (tortoise-backed scraper) හඳුනාගත හැකි වේ. පබලු ගල්වලින් අර්ධයක් වෙන්කර ගෙන එයින් එක් අඩ කොටසකින් තියුණු සීරුම් දාර ලබාගැනීමේ අරමුණින් වටා වූ පතුරු ඉවත් කර මෙම මෙවළම් නිමවා ඇත.

මෙම මෙවළම් සම්ප‍්‍රදායට අයත් බොහෝ මෙවළම් නිර්මාණය කොට ඇත්තේ පබලු හර (Pebble cores) භාවිත කරමිනි. මෙම තත්ත්වය යුරෝපීය ගල් ආයුධ සම්ප‍්‍රදායක් වන සොහාන් කර්මාන්තය (Sohan industry) හා සමාන තත්ත්වයක් බව ඒ පිළිබඳ ප‍්‍රාමාණික විද්වතුන්ගේ අදහසයි. නමුත් සොහාන් කර්මාන්තයට අයත් ශිලා මෙවළම්, අමුද්‍රව්‍ය භාවිතය හා නිර්මාණ තාක්‍ෂණය අනුව රත්නපුර ශිලා කර්මාන්තය අභිබවා සිටින බව හඳුනාගත හැකි වේ. සාපේක්‍ෂව වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කරන මෙවළමේ බාහිර ප‍්‍රදේශය සකස් කිරීමට ලක්කර නැත. මෙම මෙවළම් පිළිබඳ සමස්ත වශයෙන් අවධානය යොමු කිරීමේ දී අවම ආකාරයේ නැතිනම් සුළු සකස් කිරීමකින් විශාල පතුරු මෙවළමක් සකස් කිරීමට අදාළ නිර්මාපකයින් සමත්ව ඇත.

රත්නපුර දියළු නිධියෙන් අනාවරණය වන දළ ඇතුන් විශේෂයක් වන Elephas maximus sinhaleyus සතුන්ගේ අවශේෂ සමඟ හමුවන රත්නපුර මෙවළම් වෙනත් රත්නපුර මෙවළම් වලට වඩා හොදින් සකස් කර ඇත. ඒ අනුව මෙම මෙවළම් රත්නපුර කර්මාන්තයේ පසු හෙවත් වර්ධනීය අවස්ථාවක් නිරූපණය කරන බව සිතිය හැකි වෙයි.

කාලනීර්ණය (Dating)

රත්නපුර කර්මාන්තය නිරූපණය කරන සාධක කලාතුරකින් හිපපොටේමස් සාධක (Hexaprotodon sinhaleyus) සමඟ සමාන්තරව එකම පස්තට්ටු තුළ තිබිය දී අනාවරණය වී ඇත. ඒ අනුව මෙම ශිලා නිර්මාණ පැවති සංස්කෘතිය හා හිපපොටේමස් එකම කාලයක ජීවත් වූ බවට ද අනුමාණයක් ඇතිකර ගැනීමට අවශ්‍ය අනුබලය එකී සමාන්තර බව තුළින් සපයනු ලබයි. නමුත් ඉන්දියාවේ නර්මදා හෝ ශ්වාලික් තැම්පතුවලින් මානවකෘති හා සම්බන්ධව හිපපොටේමස් සාධක ලැබී නැත.

මෙම ලිපියේ ආරම්භයේ දී පෙන්වා දී ඇති පරිදි රත්නපුර දියළු තැම්පතු නැවැත තැම්පත් වීමක් පෙන්නුම් කරන බැවින් නිශ්චිත ලෙස කාලනීර්ණය කිරීම ගැටලුවක් ව පවතී. එ බැවින් මෙම තැම්පතු තුළින් අනාවරණය වන මෙම අගනා සාධක නිශ්චිත ආකාරයෙන් කාලනීර්ණ රාමුවත් තුළ ස්ථාපනය කිරීමට නොහැකි වී ඇත.

ඉදිබු ආකාර සීරුම් මෙවළම් (tortoise-backed scraper)
a – core artefacts, b,c,h,e – flack artefacts, d – crystalith, f.,g – pebble artefacts
a – core artefacts, b,c,e – flack flack artefacts, d – flack crystalith
පැල්මඬුල්ල, ගල්පොතවෙල නම් ස්ථානයේ මැණික් පතලකින් 1952.3.28 දින අඩි 30ක ගැඹුරකින් හමු වූ මෙවළමක්

ඉදිරි ලිපියෙන් : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා අවධිය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 7 : රත්නපුර, ප්ලයිස්ටෝසීන සත්ත්ව හා ශාක සංහතිය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

චන්දිම බණ්ඩාර අඹන්වල

අදින් වසර මිලියන ගණනාවකට පෙර ආරම්භ වී දිගු කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ විශේෂ ලක්ෂණ සහිත කාලපරිච්ෙඡ්දයක් නොහොත් භූ විද්‍යාත්මක අවධියක් වශයෙන් ප්ලයිස්ටොසීන (Pleistocene) අවධිය දළ වශයෙන් හඳුනාගත හැකි වේ. ප්ලයිස්ටෝසීන අවධියේ දී පෘතුවියේ සැලකිය යුතු ප‍්‍රමාණයක් හිමෙන් ආවරණය වී පැවති අතර ම වඩා ශිත දේශගුණ තත්ත්වයක් පැවති බව අනාවරණය කරගෙන ඇත. ශ‍්‍රී ලංකාවේ ද මෙම ප්ලයිස්ටෝසීන අවධිය ක‍්‍රියාත්මක වූ බව භූ විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. ශ‍්‍රී ලංකාවේ පැවති ප්ලයිස්ටෝසීන අවධිය පිළිබඳ ව වැඩි වශයෙන් අවධානය යොමු කොට අධ්‍යයනය සිදුකර ඇත්තේ ආචාර්ය පෝල් එඩවඞ් පීරිස් දැරණියගල (පී.ඊ.පී. දැරණියගල) විද්වතා විසිනි. මෙම අවධිය පිළිබඳ ව මෙතුමා විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයන්ගේ විස්තර හා ප‍්‍රතිඵල අන්තර්ගත කරමින් රචනා කරන ලද කෘතියට ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් විශ්වවිද්‍යාලට මඟින් ආචාර්ය උපාධිය පිරිනමා ඇත. ඒ විශිෂ්ට නිබන්ධය පදනම් කරගනිමින් නිමවන ලද The Pleistocene of Ceylon නම් කෘතිය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් පළමු වරට 1958 වසරේ දී ප‍්‍රකාශයට පත්කොට ඇත (P.E.P Deraniyagala (1958), The Pleistocene of Ceylon, Natural History Series, Ceylon National Museum, Ceylon.). එ තුමා විසින් පෙන්වා දී ඇති ආකාරයට අදින් වසර මිලියන 1.8 (ලක්ෂ 1,800,000) සිට වසර 12,000-10,000 දක්වා කාලයේ මෙම යුගය පැවතී ඇත. ඒ අනුව මෙම අවධියට අදාළ දැනට අප විද්වත් සමාජය සතු දැනුමින් අතිශය විශාල ප‍්‍රමාණයක් අනාවරණය කරන ලද්දේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විද්වතා විසින් බැව් ඒ තුමාට ගෞරව වශයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. (ආචාර්ය පී.ඊ.පී. දැරණියගල යනු කීර්තිමත් ඉතිහාසඥයෙකු හා පළමු ලාංකේය පරිපාලන නිලධාරීයා වූ පෝල් එඞ්වඞ් පීරිස් මැතිඳුන්ගේ පුතණුවන් වූ අතර කීර්තිමත් ප‍්‍රාග් ඉතිහාසඥ හා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල යනු එ තුමාගේ පුත‍්‍රයෙකි.) ආචාර්ය පී.ඊ.පී. දැරණියගලයන්ගෙන් පෙර හෝ පසුව මෙම අගනා වටිනා සාධක සමුච්චය පිළිබඳ විධිමත් හා ප‍්‍රඹාණවත් ආකාරයෙන් අධ්‍යයනය කිරීමේ උනන්දුවක් කිසිදු ලාංකිකයෙක් තුළ ඇති වූ බවක් හඳුනාගැනීමට නොමැත. ලාංකේය අතීතය අධ්‍යයනය කිරීම පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී මෙම තත්ත්වය අවාසනාවන්ත

ආචාර්ය පී.ඊ.පී. දැරණියගල

තත්ත්වයක් බැව් සටහන් කළ යුතු වේ. නමුත් රත්නපුර ප‍්‍රදේශයෙන් අනාවරණය වන්නා වූ මෙම පොසිල පිළිබඳ යම් උනන්දුවක් තක්මනිව් ක‍්‍රියාකරන නූතන විද්වතුන් අතර කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා දක්වන දායකත්වය වෙසෙසින් අගය කළ යුතු වේ. සාධක අනාවරණය කරගැනීමේ අපහසුතාව, අනාවරණය වන සාධකයන්ගේ විශ්වාසනීයබව අවම වීම, නිශ්චිතව කාලනීර්ණය කිමරී අපහසු වීම හා සාධක අන්තර්ගත සන්දර්භ නිශ්චිතව හඳුනාගත නොහැකි වීම යන සාධක විද්වතුන් අතර මෙම කාලය හා ක්‍ෂේත‍්‍රය පිළිබඳ අධ්‍යයන දුර්මුඛ වීමට හේතුපාදක වී ඇති කරුණු අතර ඇති බව සිතිය හැකි වේ.

වර්ග කිලෝමීටර් 65,610කට ආසන්න ප‍්‍රමාණයක ව්‍යාප්ත වී ඇති ඉන්දීය සාගර කලාපයේ පිහිටි සාපේක්‍ෂ වශයෙන් විශාල දූපතක් වන ශ‍්‍රී ලංකාව ප්ලයිස්ටෝසීන යුගයේ දි ඉන්දිය උප මහද්වීපය සමඟ ගොඩබිමින් සම්බන්ධ වී තිබුණු බව විද්වතුන්ගේ අදහසයි. මෙ කල පැවති ශීත දේශගුණ තත්ත්වය හේතුවෙන් මිහිමත පැවති වතුර ඝණ අයිස් තට්ටුවක් වශයෙන් කැටිගැසී පැවතීම නිසා මුහුදු මට්ටම් පහත පැවතීන. මේ ආකාරයෙන් මුහුදු මට්ටම පහත පැවතීම අද වනවිට මුහුදු වතුරෙන් යට වී පවතින බොහෝ ප‍්‍රදේශ එ වකට ගොඩබිම් වශයෙන් පැවතීමට හේතු විය. මුහුදු මට්ටම පහළ යෑම හේතුවෙන් ලංකාව හා ඉන්දියාව යන භූ ස්කන්ධ අවසන් වරට ගොඩබිමින් වෙන් වූයේ මීට වසර 7,000කට පෙර කාලයේ ය. පසුගිය වසර 500,000 දී මුහුදු මට්ටමේ වෙනස් වීම හේතුවෙන් අවස්ථා කීපයක දී ම ඉන්දියාව සමඟ සම්බන්ධ වී පැවැතින. සමහර විද්වතුන්ගේ අදහස් අනුව අවසන් වසර දශ ලක්‍ෂය තුළ ඉන්දියාව හා ලංකාව වැඩි කාලයක් තුළ පැවතී ඇත්තේ ගොඩබිමින් සම්බන්ධ වූ තත්ත්වයක් තුළ ය. දළ වශයෙන් මීටර් 70ක ප‍්‍රමාණයකින් මුහුදු මට්ටම පහළ ගියවිට ලංකාව හා ඉන්දියාව කිලෝමීටර් 100ක පළල ගොඩබිම් පාලමකින් සම්බන්ධ වෙයි. මෙසේ ඇතිවන්නා වූ ගොඩබිම් පාලම ඔස්සේ මේ භූමි ස්කන්ධයන් අතර සතුන්ට නිදහසේ දෙපසට චරණය වීමේ අවකාශය උදා වේ.

කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි
The Pleistocene of Ceylon කෘතිය

ලංකාවේ ප්ලයිස්ටෝසීන අවධියේ අවසානයේ මිහිමත පැවති පරිසර උෂ්ණත්වය වැඩිවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ක‍්‍රමානුකූල ව පෘතුවිය වසා පැවති අයිස් තට්ටුව දිය වී යන්නට විය. මෙ ලෙස හිම දිය වී ගලා යාමේ දි ඒ සමඟ ම පොළොව මතුපිට පැවති විවිධ ද්‍රව්‍යය ද එ හිම වතුර සමඟ මිශ‍්‍ර වී පහත් තැන්න වෙත පැමිණ තැම්පත් වීම සිදු විය. මෙ ලෙස සැකසුණු දියළු තැම්පතුව සමඟ එවකට මතුපිට පැවති විවිධ පාරිසරික ද්‍රව්‍යය ද උඩුකුරු ක‍්‍රමාවලියකට අනුව පහත් භූමියේ තැම්පත් වි ය. පොලොව මතුපිට පැවති විවිධ සත්ත්ව අවශේෂ හා මානව අවශේෂ ද මේ ආකාරයෙන් දිය වී පැමිණ පහත් තැන්නේ තැම්පත් විය. රත්නපුර හා තදාශ‍්‍රිත කලාපයේ මැණික් සහිත ඉල්ලම් තැම්පතු හා අනෙක් තැම්පතු සකස් වී ඇත්තේ මේ ක‍්‍රියාවලිය හේතුවෙන් බැව් තහවුරු වී ඇත.

ප්ලයිස්ටෝසීන අවධියේ ඇති වූ මෙම තත්ත්වයන් ඇල්ප්ස් වැටියේ දැකගත හැකි තත්ත්වයන් සමඟ සංසන්දනාත්මක ආකාරයෙන් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් දක්වා ඇත්තේ පහත පරිදි ය. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විද්වතාණන් ශාස්ත‍්‍රාලීය අධ්‍යයනයන්හී නිරත වූ වකවානුවේ ගෝලීය වශයෙන් පිළිගත් වූර්ම්, රිස්, මින්ඩෙල් හා ගුන්ස් යන ප‍්‍රධාන හිම යුග හා අන්තර් වාරුණ අවධි හෙවත් උණුසුම් කාලපරිච්ෙඡ්ද පිළිබඳ අවධානය යොමු කරමින් මෙම අදහස් ඉදිරිපත් කර ඇත.

Subdivision of the Pleistocene

Ages Phases in Arcto-Glacial Regions e.g. Allps Ceylon
Upper Pleistocene (d) 4th interglacial 3rd Interstadial or Recent or Holo-Pleistocene

3rd cold interval

Normal 6

Humid 6

2nd Interstadial

2nd cold Interstadial

Normal 5

Humid 5

1st Interstadial Normal 4
4th Glacial phase or Wurm 4rd cold phase Humid 4
3rd interglacial Normal 3
Middle Pleistocene (c) 3rd Glacial phase or riss

2nd interglacial

2nd Glacial phase or Mindel

3rd cold phase

2nd cold phase

Humid 3

Normal 2

Humid 2

Lower Pleistocene (b)

a)

1st  interglacial

1st Glacial phase or Gunz

1st cold phase Normal 1

Humid 1

Warm phase usually assigned to Upper Pliocene

ශ‍්‍රී ලංකාවේ රත්නපුරය හා ඒ හා තදාශ‍්‍රිත කලාපයේ පවතින මැණික් සහිත ඉල්ලම් යනුවෙන් හඳුන්වනු ලබන පස් තට්ටු හා වෙනත් පස් තට්ටු මෙම අවධියේ එනම් ප්ලයිස්ටෝසීන යුගයේ කඳුකර ප‍්‍රදේශය මතින් දිය වූ අයිස් ගලායාමෙන් ඇති වූ ප‍්‍රතිඵල වශයෙන් හඳුනාගෙන ඇත. එවකට පැවති හා ඊට පූර්වයෙන් ජීවත් වූ සත්ත්ව හා ශාක සංහතිය පිළිබඳ පොසිලකරණය වූ සාධක මෙම පස් තට්ටු අතර ආරක්‍ෂා වී පවති. ඉල්ලම් අතර පවත්නා වටිනා මැණික් සෙවීමේ අරමුණින් මෙම පස් තට්ටු කැනීමේ අතුරු ප‍්‍රතිඵලයක් වශයෙන් එම පස් තට්ටු අතර පවත්නා විවිධ සත්ත්වයින්ට හා ශාකවලට අයත් පොසිල අනාවරණය වී ඇති අතර මැණික් පතල් කැනීම් සිදුකරනු ලබන අවස්ථාවල මෙ වැනි සාධක අනාවරණය වේ. රත්නපුර දියළු තැම්පතු තුළින් අනාවරණය වන සත්ත්ව සන්හතිය පිළිබඳ සාධක ලැබෙන ප‍්‍රධාන ප‍්‍රදේශ වශයෙන් ගැටහැත්ත, බලංගොඩ, ඇඹිලිපිටිය හා කලවාන වැනි ප‍්‍රදේශ හඳුනාගත හැකි වේ. මෙම දත්ත අන්තර්ගත බොරළු තට්ටුව අඟල් 6 සිට අඩි 3 දක්වා ඝණත්වයක් දක්වමින් පැතිර යන අතර එය අඩි 3 ඉක්මවා යන්නේ කලාතුරකිනි. මෙම දියළු තැම්පතුව පොළොව මට්ටමේ සිට අඩි 12-40 දක්වා පරාසයක විහිදෙයි. රක්වාන වැනි ප‍්‍රදේශ වල දි මෙම තැම්පතුව අඩි 108ක පමණ ගැඹුරක පවතින අතර විටෙක පොළොව මතුපිට පවත්නා ආකාරය ද හඳුනාගත හැකි වේ. මෙතෙක් සිදුකර ඇති අධ්‍යයන අනුව රත්නපුර දියළුවේ සාමාන්‍ය තැම්පතුවේ පස් තට්ටු පිහිටා ඇති ආකාරය පහත පරිදි හඳුනාගනු ලැබ ඇත.

අඩි 1 ½ හියුමස්
 අඩි 3 ලැටරයිට් ලොම් පස
 අඩි 5 කළුවන් මැටි
 අඩි 5 අළු පැහැති මැටි
 අඩි 3 පොසිල සහිත මැටි
 අඩි 1 ½ වැලි
 අඩි 1 ½ ග්රැවල්
 අඩි ½ බහුල වශයෙන් පොසිල අන්තර්ගත ඛනිජමය ග්රැවල්
 ජීර්ණ වූ මව් පාෂාණය

සත්ත්ව හා ශාක පොසිල අන්තර්ගත මෙම තැම්පතු ග්ලැසියරකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් නැවත තැම්පත් වී ඇති බව නිසැක ය. එ නම් ඉහත දැක් වූ ආකාරයෙන් හිම දිය වී යාම පොළොව මතුපිටින් ගමන් කිරීම නිසා ඇති වූ මෙම තැම්පතුව විධිමත් ආකාරයෙන් තැම්පත් වූ බවක් සිතීම අපහසු වේ. ඉතා පැරණි කාලයට අයත් විය හැකි යැයි සිතන සමහර තැම්පතු තුළින් පබළු, මැටිබඳුන් හා යකඩ වැනි පසු කාලයට අයත් සංස්කෘතික ද්‍රව්‍ය ලැබීම හේතුවෙන් මේ බව තහවුරු වෙයි. එනම් මෙම තැම්පතු බොහෝවිට අවුල් ස්වභාවකින් තැම්පත් වීමක් පෙන්නුම් කරනු ලබයි. මේ හේතුව නිසාම සාමාන්‍ය කාලනීර්ණ ක‍්‍රමවේද ඔස්සේ මෙම තැම්පතුවට අයත් පස් තට්ටු කාලනීර්ණය කිරීම අපහසු වී ඇත.

රත්නපුර ප‍්‍රදේශයේ මැණික් පතළක් (මෙම ඡායාරූපය http://www.mysrilankaholidays.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

1930 දශකයේ මැද භාගයේ දී ජාතික කෞතුකාගාරයේ සේවය කළ (1939 සිට එතුමා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂ බවට පත් වි ය. පී.ඊ.පී. දැරණියගලගේ අධීක්‍ෂණය යටතේ රත්නපුර තැම්පතුවල සංයුක්ත වී ඇති මැණික් ලැබෙන දියළු ඉල්ලම් පස්තට්ටු දැඩි පරීක්‍ෂාවට ලක් විය. එ තැන් සිට 1963 වසර දක්වා එම පාෂාණීභූත සත්ත්ව සංහතිය ආචාර්ය දැරණියගලගේ දැඩි පරික්‍ෂාවට ලක් වි ය. මෙම පරික්‍ෂාවන් අනුව මෙම පස්තට්ටුවල පැවති සාධක අනුව ලංකාවේ ප්ලයිස්ටෝසීන අවධියේ ජීවත් වූ සත්ත්ව වර්ග පිළිබඳ ඉහළ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදා වූ අතර එම සතුන් අතුරින් සමහර විශේෂ වර්තමානය තෙක් සුරක්‍ෂිත වී ඇති බවත් තවත් කොටසක් සම්පූර්ණයෙන් ම වඳ වී ගොස් ඇති බවත් හඳුනාගත හැකි වී ඇත.

නමුත් දැනට වඳ වී ගොස් ඇති සත්ත්ව වර්ග ගණනාවක් පිළිබඳ සාධක මෙම තැම්පතු තුළින් අනාවරණය වී ඇත. ඒ පහත පරිදි වේ.

විද්‍යාත්මක නාමය
 ව්‍යවහාර නාමය
ලක්‍ෂණ
1 Geoemyda trijuga sinhaleya ඉබි වර්ගයක් ලංකාවේ වර්තමාන ඝණ කටුව සහිත ඉබ්බාට වඩා විශාල විය හැකි ය.
2 Trionyx punctata sinhaleya ඉබි වර්ගයක් ලංකාවේ වර්තමානයේ ජීවත්වන මෘදු කටුව සහිත ඉබ්බාට වඩා විශාල විය හැකි ය.
3 Crocodylus sp. කිඹුල් වර්ගයක් වර්තමාන ලංකාවේ ජීවත් වන කිඹුලාට වඩා මුදුන ප‍්‍රදේශය හීන්දැරි ස්වභාවයක් ගනී.
4 Hypselephas hysundricus sinhaleyus අලි වර්ගයක් ඉන්දිය උප විශේෂයක් සමඟ සැසැදිය හැකි අලි වර්ගයකි.
5 Palaeoloxodon namadicus sinhaleyus අලි වර්ගයක් ඉන්දිය උප විශේෂයට වඩා කුඩා විය හැකි අලි විශේෂයකි
6 Rhinoceros sinhaleyus කඟවේනෙක් තනි අඟක් සහිත සාපේක්‍ෂ ව කෙටි ගාත‍්‍රා තිබූ කඟවේනෙකි.
7 Rhinoceros kagavena කඟවේනෙක් තනි අඟක් සහිත කඟවේනෙකි.
8 Hexaprotodon sinhaleyus හිපපොටේමස්  නර්මදා සත්ත්ව සංහතියට අයත් Hexaprotodon palaeindicusට සෑම අතින් ම සමාන නමුත් ඉදිරිපස දත් 6ක් සහිත හිපපොටේමස් සතෙකි.
9 Hystrix sivalensis sinhaleyus ඉත්තෑවා සාපේක්‍ෂ ව ප‍්‍රමාණයෙන් කුඩා ය.
10 Homopithecus sinhaleyus මානව පූර්වජයෙකි රත්නපුරය ආසන්නයේ කරන්ගොඩ නම් ස්ථානයේ මැණික් පතලකින් අනාවරණය වී ඇත.
11 Homo sinhaleyus මානව පූර්වජයෙකි රත්නපුරයට ආසන්න ස්ථානයකින් අනාවරණය වූ මානව පූර්වජයෙකි.
12 Elephas maximus sinhaleyus අලි විශේෂයක් වද වී ගිය අලි විශේෂයකි.
13 Leo leo sinhaleyus සිංහයෙක් වර්තමාන ඉන්දියානු සිංහයාට වඩා විශාලත්වයෙන් වැඩි සිංහයෙක්.
14 Muva sinhaleya ගෝනා කුඩා ප‍්‍රමාණයේ ගෝනෙකි.
15 Sus sinhaleyus වල් ඌරා ලංකාවේ වර්තමාන වල් ඌරාගේ ප‍්‍රමාණයෙන් 2/3ක් පමණ වන වල් ඌරෙකි.
16 Bibos gaurus sinhaleyus ගවරා වර්තමාන ඉන්දියාවේ ජීවත්වන ගවරාට වඩා කුඩා කෙටි අං සහිතය.
17 Gona sinhaleya කුළුමීමා ලංකාවේ උතුරු මැද පළාතේ ජීවත් වන කුළු මීමා හෙවත් Bos indicus ගේ ආදිතමයා විය හැකි ය.
18 Tatera sinhaleya මීයා Tatera ceylonica නම් දැනට ලංකාවේ ජීවත් වන මීයාගේ දත්වලට වඩා දිගින්, ඝණකමින් වැඩි දත් සහිත මූෂිකයෙකි.
19 Axis axis ceylonensis තිත්මුවා වර්තමානයේ ජීවත් වන තිත්මුවා
20 Rusa unicolor මෙම සත්වයා වර්තමානයේ ජීවත් වන සත්වයෙකි.
21 Bubalus bubalis migona මෙම සත්වයා වර්තමානයේ ජීවත් වන සත්වයෙකි.

 

මෙහි 10 හා 11 වැනි අංක යටතේ දක්වා ඇති Homopithecus sinhaleyus හා Homo sinhaleyus යන සාධක මේ අතර පවතින වැදගත් ම සාධක දෙකක් වශයෙන් හඳුනාගත හැකි වේ. Homopithecus sinhaleyus රත්නපුරය ආසන්නයේ කරන්ගොඩ නම් ස්ථානයේ මැණික් පතලක් තුළින් මෙම මානව පූර්වජයාට අයත් ඉහළ හනුවේ පළමු කෘන්තක දත සොයාගන්නා ලදි.

Homopithecus sinhaleyus මානවයාට අයත් කෘන්තක දත හා Homo sinhaleyus මානවයාට අයත් වම් අැසට ඉහළින් පිහිටි නළල් අස්ථියේ කොටසක් (ඡායාරූපය කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතාගේ කාරුණික අනුග‍්‍රහයෙනි)

මෙම දතේ එනැමලය කළු පැහැ ගන්නා අතර දතේ පහළ කොටස ඝණ හා මෙය අර්ධ සිලින්ඩරාකාර වේ. මෙම දත ඉහළට යන විට ක‍්‍රමයෙන් විශාල වෙයි. මෙම දන්ත සාධකය හමු වූ ස්ථානයේ පාංශු ස්තරණය පහත පරිදි හඳුනාගත හැකි වේ.

අඩි 6 කළු මඩ
 අඩි 6 ලැටරයිට් පස
 අඩි 3 ශාක පත‍්‍ර හා වැලි තට්ටුව
 අඩි 1 ½ නිල් මැටි
 අඩි 1 සුදු සියුම් වැලි
 අඩි ½ තද වුණු වැලි
 අඩි 1 පොසිල අන්තර්ගත මැණික් ග‍්‍රැවල් (මෙම සාධකය හමු වූ පස් තට්ටුව)
 ජීර්ණය වූ පාෂාණය
 මව් පාෂාණය

හොමෝ පිතෙකස් සිංහලේයුස් මානවයාට අයත් මෙම සාධකය Hexaprotodon sinhaleyus, Rhinoceros kagavena, Elephas maximus sinhaleyus, Axis axis ceylonensis හා Rusa unicolor unicolor සාධක සමඟ හමු වී ඇති අතර මෙම සාධක යුරේනියම් කාලනීර්ණ අනුව මෙම සාධක සම කාලීන බව තහවුරු වෙයි.

මෙම කෘන්තක දත ගෝරිල්ලා හා වර්තමාන මිනිසා ගේ ඒ හා සමාන දන්ත සාධක සමඟ සන්සන්දනාත්මක අධ්‍යයනය කිරීමෙන් ලැබුණු ප‍්‍රතිඵලයයි.

Gorilla Man Fossil
Ant.-post thickness 12.5mm 7mm 10mm
Height of enamel anteriorly 14mm 11mm 16mm
Width of crown 15mm 8mm 15mm
වඳ වී ගොස් අැති Hypselephas hysundricus හස්තියා

මෙම සංසන්දනාත්මක දත්ත අනුව මෙම දත මානව පූර්වජයෙකුට අයත් බව පැහැදිළි වෙයි. මෙම කෘන්තක දත ජාවා ප‍්‍රදේශයෙන් හමු වූ Pithecanthropus robustus හා චීනයෙන් හමු වූ Gigantopithecus blacki සාධක වලට ආසන්න වශයෙන් සමාන වන බව දක්වා ඇති අතර ම කයිල් සරසවියේ ආචාර්ය ඇඩෝෆ් රේමන් මෙම කෘන්තක දත මානව පූර්වජයෙකුට අයත් බව තම ප‍්‍රාමාණික දැනුම උපකාර කොට ගනිමින් ප‍්‍රකාශ කර ඇත.

Homopithecus sinhaleyus නම් මානවයෙකුට අයත් සාධක රත්නපුරයට ආසන්න ස්ථානයකින් හමු වි ඇත. මෙම අස්ති කොටස මානවයකුගේ වම් ඇසට ඉහළින් ඇති අස්ති කොටසක් වශයෙන් හඳුනාගත හැකි වේ. මේ අස්ති කොටස සමඟ Hexaprotodon හා Elephas maximus sinhaleyus යැයි සිතිය හැකි සාධක ද හමු වී ඇත. මෙම මානව සාධක ලැබුණු ස්ථානයේ පාංශු ස්තරණය පහත පරිදි හඳුනාගත හැකි වේ.

අඩි 3 හ්‍යුමස්
 අඩි 2 ½ ලැටරයිට් පස
 අඩි 4 නිල් පැහැ මැටි
 අඩි 1 ශාක පත‍්‍ර හා මැටි තට්ටුව
 අඩි 2 කළු වැලි
 අඩි ½ -2 පොසිල අන්තර්ගත මැණික් ග‍්‍රැවල් (මෙම සාධකය හමු වූ පස් තට්ටුව)
 මව් පාෂාණය

මෙම අස්ථි කොටසේ පවතින මිනුම් අනුව මෙම මිනිසාගේ අක්‍ෂි කුහරය සාපේක්‍ෂ ව කුඩා ය. මෙම Homo sinhaleyus පොසිලයේ පවතින ලක්‍ෂණ අනුව හොමෝ නියෙන්ඩර්තාල් (Neanderthal) මානවයා සමඟ සබඳතාවක් දක්වන තහවුරු වන බව ආචාර්ය දැරණියගල පෙන්වා දී ඇත.

රත්නපුර දියළු තැම්පතුවෙන් අනාවරණය වන්නා වූ පොසිල සාධකයන් පිළිබඳ ව සාපේක්‍ෂ ව සැසඳීමෙන් ඒවායේ පෞරාණිකත්වය පිළිබඳ සාපේක්‍ෂ කාලනීර්ණ අදහසක් ලබාගැනීමට හැකි වේ. අනුව අදාළ අභ්‍යුපගමන පහත පරිදි පෙළගස්වාලීමේ හැකියාව ලැබී ඇත.

කාලනීර්ණය හා සහසම්බන්ධතාව

1. Hexaprotodon, Elephas maximus sinhaleyusgට වඩා පැරණි ය
2. Hexaprotodon සමහර විට Rhinoceros kagavenagට වඩා පැරණි විය හැකිය
3. Hexaprotodon, Elephas maximus sinhaleyus හා Rhinoceros kagavena සමකාලීන විය. Homopithecus කෘන්තක දත ද මේ හා සම කාලීන වීමට ඉහළ හැකියාවක් පවතී
4. Rhinoceros sinhaleyus ආසන්න වශයෙන් Elephas maximus sinhaleyusට වඩා දෙගුණයක් පැරණි විය හැකි ය. එ මෙන් ම Hexaprotodonට වඩා තරමක් පැරණි විය හැකි ය.

රත්නපුරයේ දියළු තැම්පතුවෙන් අනාවරණය වූ ශාක පිළිබඳ සාධක කීපයක් පැවති අතර ඒවා ඉන්දියාවේ ටාටා ආයතනය විසින් කාබන් කාලනීර්ණය කොට ඇත. ඒ අනුව පහත දැක්වෙන ආකාරයේ දත්ත ලැබී ඇත.

– Mesua sp. more than 47,000 years BP

– Lagerstroemia speciosa 7520+/-150 BP

මෙම දැව වර්ග වර්තමානයේ මෙම ප‍්‍රදේශයේ පවතින බව හඳුනාගත හැකි ය.

හිම යුගයේ දී ලංකාවේ ජීවත් වී සිට දැනට වඳ වී ගොස් ඇති Rhinoceros sinhaleyus නම් රයිනෝසිරස් සත්ත්වයාගේ සිතුවමක් (ඡායාරූපය කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතාගේ කාරුණික අනුග‍්‍රහයෙනි)

ලංකාවේ රත්නපුර ආශ‍්‍රිත මැණික් පතල් තුළින් අනාවරණය වන ප්ලයිස්ටෝසින යුගය නියෝජනය කරන පොසිල සාධක වයඹදිග ඉන්දියාවේ ශ්වාලික් හා බටහිර දිග ඉන්දියාවේ නර්මදා ගංගා ආශ‍්‍රිත ව ලැබෙන සත්ත්ව සාධක සමඟ සම්පාත වන බව ඒ පිළිබඳ ව විධිමත් ආකාරයෙන් සංසන්දනාත්මක අධ්‍යයන සිදුකළ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් පෙන්වා දී ඇත. ඉන්දියාවේ මෙම සාධක මධ්‍යම ප්ලයිස්ටෝසීන යුගයට අයත් බව සලකනු ලැබේ.

මේ අනුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කාලපරිච්ෙඡ්දයට අයත් ප්ලයිස්ටොසීන අවධිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත හැකි ව පවති. නමුත් ඉහත පෙන්වා දුන් පරිදි මෙම තැම්පතු නැවත තැම්පත් වීමක් පෙන්වන බැවින් නිශ්චිත වශයෙන් කාලනීර්ණය කිරීම අපහසු වී පැවතීම මෙම පොසිල සාධක අධ්‍යයනය කිරීම සම්න්ධයෙන් ඇති ප‍්‍රධාන ම බාධකය වී ඇත. එ නමුත් වර්තමානය වන විට වර්ධනය වී ඇති විවිධ තාක්‍ෂණික උපක‍්‍රම භාවිත කරමින් මෙම තැම්පතු වල අන්තර්ගත පොසිල සාධක පිළිබඳ අධ්‍යයන පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් වී පවතී. එය අනාගත පුරාවිද්‍යාඥයන්, පුරාසත්ත්ව විද්‍යාඥයින් හා භූ විද්‍යාඥයින් ප‍්‍රමුඛ වී පවත්වනු ලබන සහයෝගීතාත්මක අධ්‍යයන මඟින් වැඩිදුර හා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇත.

ඉදිරි ලිපියෙන් . . . රත්නපුර ශිලා කර්මාන්තය . . . .

ග‍්‍රන්ථ එළිදැක්වීම : මාර්ග පුරාණය – ආචාර්ය පී. විදානපතිරණ

ලේඛක : ආචාර්ය පී. විදානපතිරණ
ප්‍රකාශක : පුරාවිද්‍යා පශ්චාත් උපාධි අායතනය, ෙකාළඹ 7.
මිල : රු. 800.00

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද මාර්ග පුරාණය, කෘතිය පසුගිය 2017 පෙබරවාරි 22 වන දින කොළඹ 7, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශ‍්‍රවණාගාරයේ දී එළිදැක්විණි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය ජගත් වීරසිංහ මහතා විසින් මුලසුන හොබවන ලද මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි මහතා සහභාගි විය. පිළිගැනීමේ කතාව පවත්වන ලද්දේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා විසිනි.

මාර්ග පුරාණය නම් මෙම කෘතිය ශ‍්‍රී ලංකාවේ පුරාණ මාර්ග පද්ධතිය අළලා, සාහිත්‍ය මූලාශ‍්‍ර මෙන් ම පුරාවිද්‍යා මූලාශ‍්‍ර වෙතත් එක සේ අවධානය යොමුකරමින් රචනා කරන ලද ප‍්‍රථම විස්තරාත්මක අධ්‍යයනය ලෙසත්, එහි දී පුරාණ මාර්ග පද්ධතිය වර්ධනය වීම කෙරෙහි බලපාන ලද කරුණු කෙරෙහි මූලික අවධානය යොමුකරන ලද බවත් සිය කෘතිය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් පවසන ලදී. මෙම ග‍්‍රන්ථයෙහි ඉස්මතු කොට පෙන්වන ප‍්‍රධාන කරුණක් වන්නේ, මාර්ග අටක් එකිනෙකට සම්බන්ධ කරනා ප‍්‍රධාන මංසන්ධියක් සහ උතුර හා නැගෙනහිර සම්බන්ධ කරනා වඩාත් සංකීර්ණ මාර්ග ජාලයක් ගොඩනගමින් පසුගිය සිවිල් යුධ සමයෙහි විශේෂ අවධානයකට ලක් වූ උතුරේ නන්දිකඩාල් ප‍්‍රදේශය, පුරාණ මාර්ග පද්ධතිය තුළ ඉටුකරන ලද මෙහෙය යි. එ තුමිය පෙන්වා දෙන ආකාරයට, බි‍්‍රතාන්‍යයන් විසින් දියුණු කරන ලද වර්තමාන මාර්ග පද්ධතියෙන් සියයට 80‍ක් පමණ පදනම් වී ඇත්තේ පුරාණ මාර්ග පද්ධතිය මතය.

මෙම ග‍්‍රන්ථය පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය ජගත් වීරසිංහයන් පැවසූයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහිලා මහාචාර්යය සේනක බණ්ඩාරණායකයන්ගේ දැක්ම වූයේ, “පුරාවිද්‍යාව යනු පන්සල් හෝ රජමැඳුරුවල කීර්තිමත් ඉතිහාසයට වඩා සාමාන්‍යය ජනයා සඳහා වූවක්” බවයි. ඔහු වැඩිදුරටත් දැක්වූයේ මෙම පර්යේෂණ ග‍්‍රන්ථයේ දී ආචාර්ය විදානපතිරණගේ පර්යේක්‍ෂණයන් හා නිරීක්‍ෂණයන් අති දක්‍ෂ අයුරින් විස්තර කර තිබෙන බවයි. මෙම ග‍්‍රන්ථය මගින් අනුරාධපුරය තෙක් විහිදුනු සියලුම මාර්ග හා නගරයේ සිට සෑම ප‍්‍රදේශයකටම ගමන් කළ හැකි මාර්ග ජාලය තහවුරුකර දක්වා ඇත. මෙම සංකීර්ණ මාර්ග පද්ධතියෙහි ප‍්‍රධාන අරමුණ වූයේ භූ දර්ශනයෙහි අනුපිළිවෙල හා එය ජාලගත කිරීමයි. එහෙයින් අනුරාධපුරය මෙම ජාලයෙහි මධ්‍යස්ථානය බවට පත් වූ අතර එය වෙළෙඳාම හෝ වෙනත් හේතුවක් නිසා නොවූවකි. සරල ඓතිහාසික කරුණු මත පදනම් වූ පෙර පැවති සිතියම් වෙනුවට, පුරාණ මාර්ග පද්ධතිය අළලා සැකසුණු ප‍්‍රථම පුරාවිද්‍යාත්මක සිතියම මෙම ග‍්‍රන්ථයෙහි ඇතුළත් වේ. අනාගත පර්යේෂණයන් ප‍්‍රබොධමත් කර නව මාවත් විවර කරන්නට මෙම ග‍්‍රන්ථය හරහා හැකිවේවායි ප‍්‍රාර්ථනා කරමින් ආචාර්ය වීරසිංහයන් සිය දේශනය හමාර කරලීය.

සභාව අමතමින් පුරාවිද්‍යා ගවේෂණයන් හා සම්බන්ධ වෙමින්, ඇතැම් කතාන්දර මගින් විස්තාරණය කරනා කතාවන් හි පවතින පරස්පර විරෝධතාවන් විසඳාලීමෙහි ලා ඓතිහාසික සාහිත්‍යය මූලාශ‍්‍රයයන්හි පවතින වැදගත්කම අවධාරණය කරන ලද මහාචාර්යය එස්.බී. හෙට්ටිආරච්චි මහතා, මාර්ග හා සබඳ වූ පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් මෙම ග‍්‍රන්ථය අනඟි උදාහරණයක් ලෙස සඳහන් කරන ලදී.

මාර්ග පුරාණය කෘතිය ප‍්‍රධාන ආරාධිතයා වූ මහාචාර්යය එස්.බී. හෙට්ටිආරච්චි මහතාට හා මුලසුන හෙබ වූ මහාචාර්ය ජගත් වීරසිංහය මහතා වෙත පළමු ව පිළිගන්වමින් එළිදක්වන ලදී. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරි නදීකා රත්නබාහු මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම උත්සව සභාවේ කටයුතු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ සහකාර ලේඛකාධිකාරි චන්ද්‍රිකා ගොඩගේ මෙනවියගේ ස්තුති කතාවෙන් අනතුරුව අවසන් විය.

මෙම පොත කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 407 දරණ ස්ථානයේ ඇති පුරාවිද්‍යා පශ්චාත් උපාධී ආයතනයේ පුස්තකාලයෙන් මිල දී ගත හැක.

අනුරාධපුර ගල්කිරියාගම, වනසිංහාරාම රජමහා විහාරයේ සිතුවම් පිළිබඳ අධ්‍යයනයක්

අශෝකා සිරිවර්ධන1, සමීර ප‍්‍රසංග2, චන්දිම බණ්ඩාර අඹන්වල3

1 ප්‍රධාන පුස්තකාලය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. 2 ඉතිහාස අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ. 3 පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ප‍්‍රමුඛ පද : සූවිසි විවරණය, බුද්ධ චරිතය, ජාතක කථා, නෙළුම් මල් මෝස්තර

හැඳින්වීම

අනුරාධපුර, පලාගල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කිරියාගම වනසිංහාරාම රජමහා විහාර මහනුවර අවධියේ සිතුවම් සහිත විහාරයකි. කැකිරාව සිට ගලේවෙල දක්වා ගමන්කරන මාර්ගයේ ආඬියාගල මංසන්ධියෙන් ගල්කිරියාගම දක්වා වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ ගමන් කොට ගල්කිරියාගම හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් හතරක් පමණ ගමන් කළ විට මෙම විහාරස්ථානයට ළඟා විය හැකි ය. අලංකාර ලෙන් විහාරයක් වන මෙය බි‍්‍රතාන්‍ය පාලකයින්ගේ ද අවධානයට ලක් ව ඇත. පිළිම ගෙය ලෙන් විහාර සම්ප‍්‍රදායට අයත් ය. ලෙන් විහාරය දිග මීටර් පහළොවක් පමණ ය. උපරිම උස මීටර් හතරක් වන අතර පළලින් මීටර් තුනකි. ලෙන් ද්වාරයෙහි ආරක්ෂාවට මෙන් ම ධර්මශාලාවක් ලෙස භාවිත කිරිම සඳහා ඉදිරි පස කොටස ඇලුමිනියම් සෙවිලි තහඩු වසා සිමෙන්තියෙන් නිර්මාණය කොට ඇත. බි‍්‍රතාන්‍ය පාලන සමයෙහි නිර්මාණය කළ ගල් බැම්මකින් ධර්ම ශාලාව පිහිටි කොටස ආරක්ෂිත ය. පැරණි පියගැට පෙළ එම ගල් බැම්ම සමඟ තිබී ඇති නමුත් දැනට එය වසා දමා ඇත. ලෙන් විහාරයට ඇතුළුවීම සඳහා යොදා ඇති දොරටුව හා උළුවස්ස මහනුවර අවධියට අයත් බව පෙනෙයි.

අනුරාධපුර ගල්කිරියාගම, වනසිංහාරාම රජමහා විහාරය

ලෙන් විහාරයට ඇතුළුවන්නෙකු හට ඉදිරියෙහි ඇති බිත්තියෙහි නිර්මාණය කර තිබෙන වීරාසන මත සමාධි ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප‍්‍රතිමා තුනක් දැක ගැනීමට හැකි ය. එම ප‍්‍රතිමා ති‍්‍රත්වයට වම් පසින් හිටි බුද්ධ ප‍්‍රතිමාවක් හා ප‍්‍රතිමාවට දකුණු පසින් විෂ්ණු දේව ප‍්‍රතිමාවක් දක්නට ලැබේ. ලෙන් විහාරය අපුරු පිහිටීමකින් යුක්ත ය. හිටි බුද්ධ ප‍්‍රතිමාව හා දේව ප‍්‍රතිමාව සහිත බිත්තිය, දොරටුව ඉදිරි පස ඇති හිදි බුද්ධ ප‍්‍රතිමා තුන වැඩ සිටින බිත්තිය, මුචලින්ද නාග දරණය මෙන් ම හිදි ඉරියව්වෙන් යුතු තවත් බුද්ධ ප‍්‍රතිමාවකින් හෙඹි බිත්තිය හා හිදි ඉරියව්වෙන් යුතු බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බිත්තිය වශයෙන් මෙය බෙදා වෙන් කළ හැකි ය. දොරටුව පිහිටි බිත්තිය ලෙනෙහි ඉදිරි පස ආවරණය සඳහා සකස් කළ එකකි. මුචලින්ද නාග දරණය දැක්වෙන බුද්ධ ප‍්‍රතිමාව හා එ් අසල ඇති හිදි බුද්ධ ප‍්‍රතිමා දෙක ලෙනෙහි අනෙක් කොටස්වලට වඩා අඩි හතරක් පමණ ඉහළින් මණ්ඩපයක් බඳු වු කොටසක පිහිටියේ ය. මෙය ස්වභාවයෙන් ම ලෙන පිහිටා තිබෙන ආකාරය හේතුවෙන් සැකසුනකි. ලෙනෙහි ස්වභාවික පිහිටීම කලාකරුවා විසින් මනාව හසුරුවා ඇති ආකාරය එහි යන අයෙකු හට පසක් වනු ඇත. ලෙන් විහාරය සතු සිතුවම්වලින් වැඩි කොටසක් එහි දොරටුව සහිත බිත්තියේ දෙපස සකසා තිබේ. මීට අමතර ව වියන් තලයෙහි හා බුද්ධ ප‍්‍රතිමා අතර පිහිටි බිත්තිවල ද සිතුවම් නිර්මාණය කොට ඇත.

ක‍්‍රමවේදය

පර්යේෂණ ක‍්‍රමවේදය ක්‍ෂේත‍්‍රය හා සබැඳි සිතුවම් පරික්ෂා කිරීම මත සිදු වූවකි. වර්ණ භාවිතය හා සිතුවම් තේමා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලදි. ලෙනෙහි ඉහළ කොටස්වල පිහිටි පියවි ඇසින් නැරඹිය නොහැකි සිතුවම් කැමරා තාක්ෂණය උපයෝගී කරගනිමින් ලබාගත් ඡායාරූප ඇසුරු කර ගනිමින් නිරීක්ෂණය කරන ලදි.

සාකච්ඡාව හා ප‍්‍රතිඵල

දොරටුවෙන් ඇතුළුවන්නෙකුගේ දකුණු පසින් තිරස් හා සිරස් තීරු මත නිර්මාණය කළ සූවිසි විවරණය, නාලාගිරි දමනය, සංඝරාජ හිමිගේ රුව හා නෙළුම් මල් මෝස්තර යන සිතුවම් දැක ගත හැකි ය. දොරටුවට ඉහළින් තිරස් තීරු දෙකක සූවිසි විවරණයේ අවස්ථා නිරූපණය කොට ඇත. දොරටුව සමග ම ඇති ඍජු කෝණාස‍්‍රාකාර තිරුව නෙළුම් මල් මොස්තරයකින් අලංකෘත ය. ඉහළ සිට තෙ වැනි තිරස් තීරුවෙහි නාලාගිරි දමනයේ අවස්ථා අලංකාරවත් ව නිරූපිත ය. මෙහි නාලාගිරි ඇතුට රා පෙවීමේ අවස්ථාව පළමු වැනි කොටසින් නිරූපනය කර ඇත. ඍජු කෝණාස‍්‍රාකාර හැඩයෙන් යුතු එම කොටසෙහි රජකීය ඇත් ගාලේ දී ඇතුට රා පොවන ආකාරය අලංකාර හා සිත්ගන්නාසුළු අයුරින් නිර්මිත ය. මහනුවර අවධියේ කි‍්‍රයාත්මක වූ ඇත් ගාලක ස්වරූපය හා එහි කි‍්‍රයාකාරීත්වය පිළිබඳ කදිම නිදර්ශනයක් ද මෙම සිතුවමින් සැපයනු ලැබේ. එම කථා පුවතෙහි අනෙක් අවස්ථා ඊට පහළ තීරුවේ දකුණේ සිට වමට නිමවා තිබේ. කෝපාවිෂ්ට ව නගරය දෙවනත් කරමින් බුදුරදුන් ඉදිරියට යන නාලාගිරි රුව මෙහි දෙ වැනි අවස්ථාවෙන් නිරූපණය කර ඇත. නාලාගිරි ඇතු බුදුරදුන් ඉදිරියේ සිටින ආකාරය එහි තෙ වැනි අවස්ථාවයි. මෙම සිතුවම් කොටසෙහි බුදුරදුන් අර්ධ කවාකාර ආරුක්කු හැඩයෙන් යුතු කොටසක ඇඳ ඇත. බුදුරදුන්ගේ රුවට පසුව ආනන්ද හිමියන් දැක්වෙන රුවකි. නාලාගිරි ඇතු බුදුරදුන් ඉදිරියට පැමිණෙන අවස්ථාවේ ආනන්ද හිමි එය වැළැක්වීම උදෙසා ඉදිරියට පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ විස්තරය. මේ එම අවස්ථාව නිරූපණය කිරීම උදෙසා ගත් ප‍්‍රයත්නයකි. නැවතත් ආරුක්කු හැඩයෙන් යුතු කොටසක බුදුරදුන් සිතුවමට නඟා ඇති අතර පසුව රහත් රූ පෙළක් නිර්මාණය කොට ඇත. මෙම කථා පුවත් දැක්වෙන තීරුවෙන් පසු තිරස් තීරු දෙකක නෙළුම් මල් මෝස්තර නිරූපිත ය. දොරටුව ආසන්න සිරස් තීරුවක වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ රුව යැයි විශ්වාස කළ හැකි භික්ෂු රූපයක් දැකගත හැකි ය.

ලෙන් විහාරයට ඇතුළුවන්නාගේ වම් පසින් පිහිටි බිත්තිය තිරස් තීරු එකොළහකට බෙදා සිතුවම් නිර්මාණය කර ඇත. දකුණු පස ඉහළ තිරස් තිරුවේ ඇඳ ඇති සූවිසි විවරණයේ ම දිගුවක් ලෙස වම් පස ඉහළ තිරස් තීරුව සැලකිය හැකි ය. ඊට පහළ තීරුව වෙන්ව ඇත්තේ දොරටුවට ඉහළින් ඇති නෙළුම් මල් මෝස්තරයේ ම දිගුවක් ලෙස ය. ඊට පහළ තිරස් තීරු හයක බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා සිතුවම් කොට ඇත. පහළ ම තිරස් තීරු ති‍්‍රත්වය වෙන්ව ඇත්තේ වෙස්සන්තර ජාතකය සඳහා ය. වියන් චිත‍්‍රවල ප‍්‍රධාන තේමාව වී ඇත්තේ දස මාර පරාජයයි. මීට අමතර ව හිදි බුද්ධ ප‍්‍රතිමා ති‍්‍රත්වයට ඉහළ වියන් තලය තේමේය (තේමීය) ජාතකය සඳහා වෙන් ව ඇත. එහි අවසාන සිදුවීම පමණක් පැහැදිලි ව දැකගත හැකි නමුත් අනෙක් සිතුවම් අවපැහැ ගැන් වී ක්‍ෂය වී ගොස් ඇති ආකාරයක් පෙන්වයි. ප‍්‍රතිමා අතර හිඩැස් පිරවීම සඳහා මල් ලියකම් මෝස්තර යොදා ගෙන ඇත.

මහනුවර නගරය කේන්ද්‍ර කරගත් ප‍්‍රකට විහාරස්ථාන බොහෝමයක දැකගත හැකි මහනුවර සම්ප‍්‍රදායේ සිතුවම් පිළිබඳ ප‍්‍රාමාණික අධ්‍යයනය සිදු කර ඇති නමුත් ප‍්‍රාදේශීය ව පිහිටි විහාරස්ථාන පිළිබඳ ව යොමු කර ඇති අවධානය අඩු මට්ටමක පවතියි. කැලණිය, මුල්ගිරිගල, තෙල්වත්ත වැනි විහාර පිළිබඳ ව යම් අවධානයක් පසු කාලීන පර්යේෂකයින් විසින් යොමු කර තිබුණ ද අනුරාධපුරය (නුවරකලාවිය) වැනි ප‍්‍රදේශාශි‍්‍රත ව පැවති මහනුවර සම්ප‍්‍රදායේ වෙහෙර විහාරස්ථාන ඊට ඇතුළත් වී ඇති බවක් නොපෙනෙයි. නුවරකලාවියෙහි ස්ථානගත වී පවතින මහනුවර අවධියට අයත් විහාරස්ථාන ප‍්‍රමාණය අතින් බැලූ විට කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මහනුවර වැනි දිස්ති‍්‍රක්කවල දැකිය හැකි විහාරස්ථානවලට වඩා අඩු ගහණයකින් යුක්ත වේ. ඇතැම් විහාරස්ථාන අවධානය මදකම හේතුවෙන් හා බලධාරීන්ගේ අවධානය නිසි කල යොමු නොවීමෙන් මෑත භාගයේ දී විනාශ වී තිබේ. ව්‍යයසනකාරී තත්ත්වයකට පත්වෙමින් ඇති ගල්කිරියාගම වනසිංහාරාම ලෙන් විහාරයෙහි සිතුවම් නුවරකලාවියට අයත් එවැනි සිතුවම් පවතින ආකර්ෂණීය ස්ථානයක් ලෙස සැලකීම වරදක් නොවේ. ලෙනෙහි පිහිටීම තම සිතුවම් සඳහා මනා ලෙස යොදා ගත් ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්නෙකුහට වනසිංහාරාමය කදිම නිදසුනකි.

මෙම ක‍්‍රමවේද ඔස්සේ දිවෙන පර්යේෂණයේ දී ගල්කිරියාගම වනසිංහාරාම ලෙන් විහාරය සතු සිතුවම් නුවරකලාවියෙහි දැකිය හැකි මහනුවර අවධියට අයත් විශිෂ්ට නිර්මාණ ගොනුවක් සේ හඳුනා ගනු ලැබිණි. නුවරකලාවියෙහි දැකිය හැකි තත් අවධියට අයත් බොහෝ විහාරයන්හි සූවිසි විවරණය පොදු තේමාවක් සේ යොදා ගෙන ඇත. හිඩැස් පිරවීම සඳහා ලියවැල් ආදී සාම්ප‍්‍රදායික මොස්තර දැකිය හැකි වන නමුත් ජාතක කථා හා සිදුහත් බෝසතුන්ගේ චරිතයෙහි විශේෂ අවස්ථා සිතුවමට නඟා ඇති ආකාරයක් අනෙකුත් විහාරස්ථානයන්හි දැකගැනීමට නොහැකි ය. එබැවින් නුවරකලාවියෙහි ඇති මහනුවර අවධියට අයත් විශිෂ්ටතම සිතුවම් නිර්මාණ සහිත විහාරස්ථානය ලෙස වනසිංහාරාමය සැලකීම යෝග්‍ය ය.

—————————————————————————————-

මෙම පත‍්‍රිකාව පහත දැක්වෙන ප‍්‍රකාශනයේ පළමු වරට ප‍්‍රකාශයට පත් වී ඇත.

  • S. Siriwardhana, S. Prasanga & C.B. Ambanwala (2016), අනුරාධපුර ගල්කිරියාගම, වනසිංහාරාම රජමහා විහාරෙය් සිතුවම් පිළිබඳ අධය්‍යනයක්, The Proceedings of Second Archaeological Research Symposium 2016, Second National Archaeological Research Symposium on ‘Heritage For Social Harmony’, Chief Editor, D. Thusitha Mendis, Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihintale. 22nd September 2016, (221-224pp.)

මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් 9 – 11 ශ්‍රේණි වල සිසුන්ට පාසල් ඉතිහාසය විෂය පිළිබඳ හැදින්වීමක්

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පාසල් වල නව ඉතිහාසය විෂය නිර්දේශය සැකසීමේ දී විශාල කාර්යයක් සිදු කරන ලදී.

එතුමා 2016 ඔක්තෝබර් මස 13 දින පානදුර බාලිකා වේ සිසුවියන් සඳහා archaeology.lk වෙබ් අඩවියේ ආරාධනයෙන් පවත්වන ලද පාසල් ඉතිහාසය විෂය පිළිබඳ දේශනයේ පළමු කොටස පහත වීඩියෝවේ දක්වා ඇත.

 

 

වහරල සෙල්ලිපි පිළිබඳ අභිලේඛන හා සමාජ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

ආර්.එම්. මංගලිකා රාජපක්ෂ

පර්යේෂණ නිලධාරි (පුහුණු වන), අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

mangalikarajapaksha90@gmail.com
Mangala Rajapaksha-Archaeology.lk-Sri Lanka-Epigraphy-Palaeography
මංගලිකා රාජපක්ෂ

හැඳින්වීම

වර්තමානයේ ශ‍්‍රී ලංකාව යනුවෙන් ව්‍යවහාර කෙරෙන භූ සංස්කෘතික කලාපයෙහි, ශිෂ්ටාචාරවත් යුගයකට පදනම වැටුණු අවධියක් ලෙස ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවස හඳුන්වා දිය හැකි ය (පඤ්ඤාසාර හිමි 2005:10) මෙ කල පමණ පටන් ලියවුණු අඛණ්ඩ ලේඛන සම්ප‍්‍රදායක් අප රටේ පැහැදිලිව ම දැකගත හැකි ය (එම). ලේඛනය යනු වසර ගණනාවක් තිස්සේ පරිණාමය වෙමින් ආ මානව සන්නිවේදනයේ විශිෂ්ඨ ප‍්‍රතිඵලයකි (බණ්ඩාර 2008:1) නමුත් ලේඛන ක‍්‍රමවල මූලාරම්භය මානව ඉතිහාසයේ මූලාරම්භය තරම් පැරණි නොවේග. 19 වැනි සියවසේ මුල් භාගයේ දී ඉන්දියාවේ ජේම්ස් පි‍්‍රන්සෙප්ගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙන් එතෙක් රහසක්ව තිබූ පැරණි අක්ෂර වර්ගයක් කියවීමට හැකි විය (Paranavitane 1970:i). එය බ‍්‍රාහ්මී අක්ෂර යනුවෙන් නම් කෙරිණ (එම) එම අකුරු මෙ රට ඇති සෙල්ලිපි සමඟ සසඳා බලා අකුරු හා භාෂාවේ සමානකම් හඳුනා ගැනීමට ටර්නර්ට හැකි විය (ජයවර්ධන 1) ඉන් පසු මෙ රට ශිලාලේඛන අධ්‍යයනය සම්බන්ධයෙන් බොහෝ පිරිස් අවධානය යොමු කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ඇති සෙල්ලිපි පිටපත් කරන ලද අතර ඒවා වාර්තා කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ ශිලාලේඛන අධ්‍යයනයේ දී ක‍්‍රිස්තු වර්ෂ පස්වැනි හා සත්වැනි සියවස් අතර සෙල්ලිපි රාශියක හමුවන වචනයකි, “වහරල”. මෙම වචනය විවිධ රූපාන්තයන්ගෙන් සෙල්ලිපිවල දැක්වේ. විහරල, වෙහෙරිල, විහරිල, වහරලය, විහරලය, වෙහෙරලය (ප‍්‍රියංක 2008:1) “චිදවි” හෝ එහි විවිධ රූපාන්තයන්ට පසු ව “වහරල” යන්න යෙදේ. වහරල යනුවෙන් ලිපි විශේෂයක් නොමැති අතර එම වචනය නිසා ම වහරල ලිපි යනුවෙන් හැඳින් වේ. මෙම වචනය සම්බන්ධයෙන් විද්වතුන් විවිධ විද්වතුන් අදහස් දක්වා ඇතත් ඔවුන් අතර ඒ සම්බන්ධ ඒකමතිකයක් නොමැත. මෙම සෙල්ලිපි පාඨවල අර්ථය ඉදිරිපත් කරන බොහෝ දෙනා තවමත් ලේඛන පිහිටුවා ඇති ස්ථානය ඒවායේ ආකෘතිය ආදිය පිළිබඳ ව දීර්ඝ වශයෙන් සැලකිල්ලක් දැක්වූ බවක් පෙනෙන්නට නැත. ඒ අනුව, මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ පූර්ණ වශයෙන් කිසිවෙකුත් අවධානය යොමු කර නොමැති වහරල ලිපිවල හඳුනාගත හැකි අභිලේඛනවිද්‍යාත්මක කාරණා මොනවා ද යන්න විමසා බැලීමත් එකී ලිපිවලින් මතු කරගත හැකි සමාජ පුරාවිද්‍යාත්මක කාරණා මොනවා ද යන්න විමසා බැලීමත් ය. ඒ අනුව, වහරල ලිපිවලින් හඳුනාගත හැකි සම කාලීන සමාජය අධ්‍යයනය මෙහි දී මූලික වශයෙන් සිදු වේ.

අනුරාධපුර වෙස්සගිරි පුරාවිද්‍යා භූමියේ දක්නට ඇති “වහරල” ලිපියක්

වහරල ලිපි සම්බන්ධයෙන් මුලින්ම අවධානය යොමු වී ඇත්තේ 1996 වර්ෂයේ දී ය (Uduwara 1991:121). සෙනරත් පරණවිතාන, වහරල ලිපි සම්බන්ධයෙන් වඩාත් තර්කානුකූල අදහසක් ඉදිරිපත් කර තිබේ (Paranavitane 1955:35-65). වර්තමානයේ වහරල ලිපි කියූ පමණින් වහල් භාවයෙන් මුදවා ගැනීම යන්න ඔහු විසින් ඉදිරිපත් කළ අදහස සමාජගත වී තිබේ. මෙම අර්ථකථනය හා එකඟ විය නොහැකි බව වාග් විද්‍යාත්මක සාධක කෙරෙහි මෙන්ම ඵෙතිහාසික හා සංස්කෘතික කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමින් මැදඋයන්ගොඩ විමලක්ත්ති හිමි (විමලක්ත්ති හිමි 2004:107-108) කොටනෙළුවේ චන්දජෝති හිමි (චන්දජෝති හිමි 1962:24) සද්ධාමංගල කරුණාරත්න (Karunarathne 1984:117-118) බන්දුසේන ගුණසේකර (ගුණසේකර 1989 නොවැ. 12:18) සිරිමල් රණවැල්ල (රණවැල්ල 2008:32-35) මාලිනි ඩයස් (Dias 1991) කරුණාසේන හෙට්ටිආරච්චි (හෙට්ටිආරච්චි 2005:137) වැනි උගතුන් විසින් අදහස් දක්වා තිබේ.

යම්කිසි ක්ෂේත‍්‍රයක ප‍්‍රවීණත්වයක් ලබා ගැනීම විශේෂ කුසලතාවකි. එකී කුසලතාව රඳා පවතිනුයේ එකී විෂය කෙරෙහි ඒ ඒ පුද්ගලයා සතු පුළුල් වූත් ගැඹුරු වූත් අවබෝධය හා දැනුම මත ය. ඒ අනුව, ඉදිරිපත් වී ඇති මත පහත සඳහන් ලෙස කෙටියෙන් පෙන්වා දිය හැකි ය.

  • සිංහල ශබ්දකෝෂය – වහල් බව, දාස භාවය, මෙහෙ කිරීම, යටත් වීම, සියලු කටයුතු කිරීම (සන්නස්ගල 1991:258)
  • සෙල්ලිපි වදන් අකාරාදිය – වහර/වහරය = වෙහෙර, විහාරය
    වහර ල/ වහර ලයර/ වහෙර ල = විහාර සලාක
    වහර ලහ = විහාර සලාක (රණවැල්ල 2004:123)
  • සෙනරත් පරණවිතාන – වහල් යන අදහස (Paranavitane 1955:35, 36)
  • ඞී.ජේ. විජේරත්න – ලී හෝ දැව කප්ප්වා පූජා කිරීම (Paranavitane 1955:36)
  • සිරිමල් රණවැල්ල – විහාර සලාක හෙවත් දාන සලාක කප්පවා ගත් බව (රණවැල්ල 2008:32)
  • මාලිනි ඩයස් – අනිවාර්ය සේවයෙන් නිදහස් වීම (ඩයස් 1989:19)
  • විමලක්ත්ති හිමි – විහාර කුටි / විහාර කුටි සෑදීම (විමලකිත්ති හිමි 2004:108)
  • සද්ධාමංගල කරුණාරත්න – විහාරවලට අදාළ ගොඩනැඟිලි සෑදවීම (Karunarathne 1984:117-118)
  • කොටනෙළුවේ චන්දජෝති හිමි/ බන්දුසේන ගුණසේකර – විහාර ගෙය සෑදවීම/ විහාර කුටි සෑදවීම (චන්දජෝති හිමි 1962:24, ගුණසේකර 1989 නොවැ. 12:18)
  • කරුණාසේන හෙට්ටිආරච්චි – අනිවාර්ය සේවයෙන් නිදහස් වීම (හෙට්ටිආරච්චි 2005:137)
  • බෙනිල් ප‍්‍රියංක – විහාර කුටි/විහාර ගොඩනැගිලි සෑදීම/සෑදවීම බව (ප‍්‍රියංක 2012:14)

වහරල ලිපිවලින් හෙළිවන අභිලේඛන විද්‍යාත්මක තොරතුරු

මහාචාර්ය සෙනරත් පරණවිතාන වියතාණන්

සිංහල අක්ෂර මාලාවේ විකාශනය හා සිංහල භාෂාවේ විකාශනය සමාන්තර ව ගමන් කරයි (ගුණසේකර 1996:40). බ‍්‍රාහ්මී අක්ෂර කාලීන ව විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් අද පවතින වර්ණ මාලාවට ප‍්‍රවිෂ්ට වන්නට ඇත. බ‍්‍රාහ්මී අක්ෂර මාලාවේ පරිවර්තනීය අවධියක් වශයෙන් ක‍්‍රිස්තු වර්ෂ 6-7 සියවස් හඳුන්වා දිය හැකි ය (ලංකාගේ 1996:49) වහරල ලිපිවලින් ද බොහෝ ප‍්‍රමාණයක් මෙම කාල පරිච්ෙඡ්දයට අයත් වන අතර සුළු ප‍්‍රමාණයක් ක‍්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසට අයත් වේ.සිංහල අක්ෂර විකාශනයෙහි අක්ෂර මධ්‍යම යුගය හෙවත් සංක‍්‍රමණික අවධිය ලෙස බොහෝ දෙනා විසින් හඳුන්වන ක‍්‍රිස්තුවර්ෂ 6-7 ශතවර්ෂවලට ඇතුළු වන කාලයෙහි අක්ෂර වර්ධන වේගය බෙහෙවින් අධික වෙයි (ගුණසේකර 1996:82) බ‍්‍රාහ්මීය අක්ෂර වෙනස් වෙමින් වර්තමාන සිංහලාක්ෂර ස්වරූපයට ළඟා වීමේ ආරම්භය අසුවල් අවධියේ ය යන්න ස්ථීර ව කිව නොහැකි වුව ද එය ප‍්‍රකට ව පෙනී යන අවධියක් වශයෙන් ක‍්‍රිස්තුවර්ෂ 6 වැනි සියවස හැඳින්විය හැකි ය (එම 83).

ක‍්‍රිස්තු වර්ෂ 6-7 සියවස්වල සෙල්ලිපි තුලනාත්මක ව විමසන කල එකිනෙකට වෙනස් වූ අක්ෂර ශෛලීන් දැකගත හැකි ය (එම 84) විශේෂයෙන් අධ්‍යයනයට බඳුන්වන වහරල ලිපිවල හා සම කාලීන අනෙකුත් ලිපිවල අක්ෂර එකිනෙකට වෙනස් බව හඳුනාගත හැකි ය. මෙහි දී එක් එක් සෙල්ලිපියෙහි පවතින පුරාඅක්ෂරවිද්‍යාත්මක තොරතුරු වෙනවෙන ම සාකච්ඡා නොවන අතර අන්තර්ගත වන්නේ ඒවා සියල්ලගේ සංක්ෂිප්තයකි.

ක‍්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ මැද භාගයට අයත්වන නිලගම ලිපියේ අකුරු වටකුරු ස්වරූපයක් ගනී (Paranavitane 1943:28). නමුත් නාගිරිකන්ද ලිපියේ අකුරු ලතාකාර ය (Paranavitane & Godakumbura 1963:11) නිලගම ලිපියෙහි “අ” ස්වරූප තුනකින් හඳුනාගත හැකි ය (Paranavitane 1943:37) , , එම ස්වරූප තුන වේ (එම). මේ සියල්ලට ම වඩා වෙනස් රූප කුඩාරත්මලේ ලිපියේ ඇත (Paranavitane & Godakumbura 1963:37) වේ (එම). ආල ඇල ඈ යන අකුරු අධ්‍යයනය කරන ලද ලිපි තුළින් හඳුනා ගැනීමට නොලැබුණිග “ඉ” අඩු වශයෙන් යෙදුනත් නිලගම ලිපියෙහි ස්ථාන අටකින්ම හඳුනාගත හැකි ය. මැදගම විහාරයේ වහරල ලිපියක උ අක්ෂරය දකුණය විවෘත වන ලෙස ලියවුණු කෝණයක මුදුනේ රේඛාව අගින් වමට නැඹුරු වී තිබේ (Paranavitane 1943:142-143). බරොස් මණ්ඩපය අසල ඇති ලිපිවල එය වඩාත් කවාකාර හැඩයක් ගනී (එම:137-144). එ අක්ෂරයේ පතුලේ රේඛාව මැදින් ඇතුළට නැමී දෙපස කොන් දෙක ලතාකාර වී තිබෙන බවක් කුඩාරත්මලේ ලිපියේ හඳුනාගත හැකි ය (Paranavitane & Godakumbura 1963:37). බරොස් මණ්ඩපය අසල ඇති ලිපිවල එ අකුර දකුණු රේඛාව වමට බර ව ඉහළට විහිදුණු හා එහි අර්ධ වෘත්තය දකුණට හැර වී ඇති වශයෙන් ආකාර දෙකකින් හඳුනාගත හැකි ය (Paranavitane 1943:137-144). වෙස්සගිරි වහරල ලිපියක ඔ අකුර ආකාරයෙන් හඳුනාගත හැකි ය (Paranavitane 1943:128-139).

ක අක්ෂරය සඳහා මේ අවධියෙහි දී ලැබෙන බොහෝ රූප පූර්ව කාලීන රූපවලින් වෙනස් වන්නේ සෘජු සිරස් රේඛාව මැදින් වැටුණු හරස් රේඛාව දෙපසින් පහළට වක් වීමත් සිරස් රේඛාවේ පහළ කෙළවර වමට නැඹුරුව වක් වීමත් හෙයිනි (ගුණසේකර 1996:89). උට්ටිමඩුව (Karunarathne 1984:117) හා මැදගම විහාර (Dias 1991:43) වහරල ලිපිවල ක අක්ෂර සංකේතය අලංකාර හැඩයකින් යුක්ත ය (ගුණසේකර 1996:40). එහි හරස් රේඛාව දෙපසින් වක් වී අක්ෂර ශීර්ෂය කුඩා වෘත්තයකින් යුක්ත වේ (එම). බිලී කොක්කක හැඩය ගත් ඛ අක්ෂරයක් කුඩාරත්මලේ ගිරි ලිපියෙන් ලැබේ (Paranavitana & Godakumbura 1963:37). එහි ම වෘත්තාකාර පැරණි ග අක්ෂර හමු වේ (එම). රිදී විහාර ලිපියේ (Dias 1991:43) අශ්ව ලාඩමක හැඩය ගත් මේ අක්ෂරයේ වම්පස කෙළවර පුඬුවක ආකාරය සැදමින් ඇතුළට වක් වී ඇත (ගුණසේකර 1996:89).

මෙයට කලින් හමු නොවූ පරිණත ච රූපයක් රිදී විහාර සැරසුම්ගල ලිපියෙන් ලැබේ (ගුණවර්ධන 1996:92). මුදුනේ ඇති හරස් ඉරට සම්බන්ධ වූ රේඛා දෙක වෙන්වෙන්ව ගොස් වම්පස රේඛාව වක් ගන්නා වූත් දකුණු පස රේඛා මතට හරස් ඉරක් එකතු වී තිබේ (එම). බරොස් මණ්ඩපය අසලල වෙස්සගිරිය වැනි ලිපිවල ආකාරයෙන් දැකගත හැකි වුවත් කුඩාරත්මලේ ලිපියේ තිරස් රේඛා දක්නට නැත (එම). උට්ටිමඩුවල බරොස් මණ්ඩපය අසල ලිපිවල අර්ධ වෘත්තාකාර රේඛාව පතුලේ උඩට නැමුණු කන්තු හැඩයක් සාදමින් ඉහළට වක් වෙයි (පඤ්ඤාසාර හිමි 2007:165). මැදගම විහාරයේ වහරල ලිපියේ ඩ අක්ෂරයේ ශීර්ෂය වඩා විශල කොකු හැඩයක් ගනී (එම). වෙස්සගිරිය ආකාරයෙන් ණ අක්ෂරය හඳුනාගත හැකි අතර කුඩාරත්මලේ ලිපියේ එය අලංකාරව පවතී.

අනුරාධපුර කුඩා රත්මලේ වහරල ලිපිය

කුඩාරත්මලේ ලිපියේ “ත” අක්ෂරය ආකාරයෙන් පවතී. සංගමුවිහාර ලිපියේ (Dias 1991:82) “ද” අකුර අර්ධ වෘත්තාකාර රේඛාවෙහි පහළ කෙළවරට සෘජු කෙටි රේඛාවක් එක් වෙයි. මුල් රූපයෙන් වෙනස් රූප රාශියක් ද අක්ෂරයෙන් මෙ කල හඳුනාගත හැකි ය. නිලගම, කුඩාරත්මලේ ලිපිවල එන “ද” අක්ෂරයේ දකුණට විවෘත වූ වක‍්‍රයේ පහළ කෙළවර වමට වක‍්‍ර වීම විශේෂ රූපයක් වුව ද එය වර්තමාන “ද” අක්ෂරයේ ස්වරූපය ගැන කථා කිරීමේ දී පසුගාමී බවක් පෙන්වයි (පඤ්ඤාසාර හිමි 2007:166). “න” අක්ෂරයේ සැලකිය යුතු වෙනසක් පෙර අවධිවලට වඩා මෙම ලිපිවල දැකගත නොහැක (ගුණසේකර 1996:99). කුඩාරත්මලේ ලිපියෙන් තරමක් දියුණු න රූපයක් හමුවන අතර මැදගම ලිපියෙන් වර්තමාන “න” අකුරට සමාන අකුරක් හඳුනාගත හැකි ය.

කොණාකාර රූප මෙන්ම වම්පස රේඛාවේ මුදුනට හරස් ඉරි කැබැල්ලක් යෙදුණු පතුල වටකුරු “ප” අකුරු වහරල ලිපිවල මෙන්ම සම කාලීන අනෙකුත් ලිපිවලත් හඳුනාගත හැකි ය (ලංකාගේ 1996:56). “බ” අක්ෂරයේ එ් තරම් වෙනසක් දක්නට නොලැබේ. “ම” අක්ෂරයෙහි රූප කෝණාකාරව හා ලතාකාරව හඳුනාගත හැකි ය. වෘත්තාකාර ව ලියවුණු මුදුන හරස් ඉරකින් සම්බන්ධ වූ ම අක්ෂරයේ රූපාන්තර නිලගම, කුඩාරත්මලේ ලිපිවලින් ලැබේ.

“ය” අර්ධ වෘත්ත දෙකක් එකට ඈඳුණු මැදින් සිරස් රේඛාව හා හරස් කෙටි ඉර ඇති රූපාන්තර කුඩාරත්මලේ ලිපියෙන් ලැබේ (ගුණසේකර 1996:103). වශයෙන් සම කාලීන “ප” අක්ෂරයේ ස්වරූපය ගත් “ය” අකුරු බරොස් මණ්ඩපය අසල ලිපිවල හඳුනාගත හැකි ය. “ර” අක්ෂරයේ සැලකිය යුතු වෙනස්කමක් මෙම ලිපිවල ඊට පෙර ලිපිවලට වඩා හඳුනාගැනීමට නැතත්, නිලගම හා කුඩාරත්මලේ ලිපිවල “ර “යනු, තනි ලම්භක රේඛාවකි. උට්ටිමඩුව ලිපියේ ලම්භකය මුදුනේ කුඩා වෘත්තයක් හඳුනාගත හැකි ය. බරොස් මණ්ඩපය අසල, කුඩාරත්මලේ රිදීවිහාර සැරසුම්ගල ලිපිවල “ල” අක්ෂරයේ වර්ධනීය අවස්ථා හඳුනාගත හැක (පඤ්ඤාසාර හිමි 2007:176 හා ගුණසේකර 1996:105). “ව” අක්ෂරය වහරල ලිපිවල හමුවන විශේෂ සංකේතයක් උට්ටිමඩුව ලිපියේ දැකගත හැක. එ වැන්නක් හමුවන්නේ මෙම ලිපියෙන් හා කන්දකාඩු ලිපියෙන් පමණි. මුදුනේ පුඬුවක් ඇති ල රූපයන් ඒවායේ හඳුනාගත හැක.

ශ, ෂ අක්ෂර යෙදුණු කිසිදු වහරල ලිපියක් අධ්‍යයනය කරන ලද සෙල්ලිපි තුළින් හඳුනාගැනීමට නොලැබුණි. සම කාලීන අනෙකුත් සෙල්ලිපිවල දැකගත හැකි හරස් ඉර වෙනුවට ප‍්‍රධාන රේඛාව ම කවාකාරව වමට යෙදුණු කෙකු හැඩය සහිත ඉතා දියුුණු “ස” අක්ෂරයේ සංකේත රිසීවිහාර සැරසුම්ගල ලහරල ලිපියෙන් හඳුනාගත හැක (ගුණසේකර 1996:106). වර්තමාන හ අක්ෂරයට සපුරා ම වාගේ සමාන වූ සංකේත කිහිපයක් රිදීවිහාර සැරසුම්ගල හා වෙස්සගිරිය හා මැදගම ලිපිවලින් ලැබේ. සැරසුම්ගල ලිපියෙහි දක්නට ලැබෙන ළ රූපයෙහි පහළ අර්ධ වෘත්තය කෙළවර වන්නේ තිතක් සහිතව ය. ඉතා විශාල වූ අර්ධ වෘත්තයකින් සමන්විත පහළ කොටසින් යුත් අක්ෂර ශීර්ෂ රේඛාව සහිත සංකේත දෙකක් බරොස් මණ්ඩපය අසල ලිපිවලින් හඳුනාගත හැක. කුඩාරත්මලේ ලිපියේ ක්ඛ බැඳි අකුරක් වශයෙන් පවතී.

මෙම ලිපිවල අක්ෂරයන්ගේ විවිධ ප‍්‍රමාණයන් හඳුනාගත හැකි ය. එක් ලිපියක් ගතහොත් එහි අකුරක දිග පළල හා එම අකුරේ ගැඹුර එම ලිපියේ ම අනෙක් අකුරේ ප‍්‍රමාණයට වඩා වෙනස්වන අවස්ථා ඇතිබව හඳුනාගත හැකි විය. එක ම සෙල් තලයේ ලිපි දෙකක් හෝ ඊට වැඩි ගණනක් සටහන් කර ඇති අවස්ථා ද පැවතුණි.

භාෂා ලක්ෂණ

ආරම්භයේ පටන්ම තුන්වන ශතවර්ෂය තෙක්ම ලියවුණු ලිපි බොහෝමයක ම ප‍්‍රාකෘත ලක්ෂණ බොහෝ සෙයින් දක්නට ඇතත් අනුක‍්‍රමයෙන් ඒවා ලිහිල්ව යන ආකාරය පසුව දක්නට ලැබේ (අමරවංශ හිමි 1969:27) වර්තමාන සිංහලයට ආවේණික වූ බොහෝ ලක්ෂණ වහරල ලිපි අයත් කාල වකවානුව තුළ දී වැද්දගත් ආකාරයක් දක්නට ඇති නිසා සිංහල භාෂා ඉතිහාසය සම්බන්ධ වැදගත් යුගයක් ලෙස නම්කළ හැකි ය (ගුණසේකර 1996:106). ප‍්‍රාකෘත යුගයේ දී දීර්ඝ ස්වර කෙටි වීම මෙන්ම සංයුක්තාක්ෂර තනි වීමත් දක්නට ලැබුණි (එම). එහෙත් මෙය ලිවීමේ සම්ප‍්‍රදායට පමණක් සීමා වූ ලක්ෂණයක් බව සිතන්නට පිළිවන (අමරවංශ හිමි 1969:27). මේ ලක්ෂණය උච්ඡාරණයට ද ඇතුළු වී නියම භාෂා ලක්ෂණ ලෙස සකස් වූයේ මේ යුගයේ දී යැයි කිව හැකි ය (ගුණසේකර 1996:106). සංස්කෘත මූල භාෂාවන්ගෙන් භින්න වූ වචන කිහිපයක් හඳුනාගත හැකි ය. විශේෂයෙන් විදවි හෝ එකී අර්ථයෙන් යොදන ලද ඊට සමගාමී වචනත් වහරල හා එහි විවිධ රූපත් කහවණ යන්නත් හඳුන්වා දිය හැකි ය. ශබ්ද තද්භව වීමේ දී අඝෝෂාක්ෂර ඝෝෂාක්ෂර බවට පත්වන ආකාරයක් දැකගත හැකි ය (අමරවංශ හිමි 1969:27).

උදාහරණ

පාචීන > පජින
සංවච්ඡර > හවජර
අභය > අපය
පධානඝර > පතනගල (එම)

ප යන්නට ව කාරය වීම ද බොහෝ විට පෙනේ(එම)

කහාපණ > කහවණ

වහරල යන වචනය කෙරෙහි වාග්විද්‍යාත්මකව අදහස් දක්වන පරණවිතාන කියා සිටිනුයේ එය සංස්කෘත වෘෂල යන්නෙන් සෑදුණු බව ය (Paranavitana & Godakumbura 1963:35). එය වෘෂල < වරෂල < වරසල < වරල ආදී වශයෙන් වූ බව ඔහුලේ අදහස යි (එම). වහරල යන්න සංස්කෘත විසාර – ලී ශබ්දයෙන් සිද්ධ වූවක්යැයි ඞී.ජේ. විජේරත්න පවසයි (එම). “වහර ල” යන්න “වහර” හා “ල” යන වචන දෙක එක් වීමෙන් නිපන් සමාස පදයක් බව සිරිමල් රණවැල්ලගේ අදහසයි (රණවැල්ල 2008:34) එහිි “වහර” යන්නෙන් විහාර’ යන අර්ථයත් “ල” යන්නෙන් “ලහ” හෙවත් “සලාකය” යන අර්ථයත් හැඟවෙන බව සඳහන් කරයි (එම). බන්දුසේන ගුණසසේකර ද චන්ද්‍රජෝති හිමියන්ගේ අදහස් වලට සමාන්තර ව යමින් ආල, ආලය යන වචන ගෘහ, මන්දිර සඳහා වාචීව යෙදෙන බවත් විහරි යනු වාසය කරන යන අර්ථය දෙන බවත් ඒ අනුව විහරි  < අල < විහරිල යනුවෙන් විය හැකි බවත් පෙන්වා දී ඇත (ප‍්‍රියංක 2012:14). චිදවි යන්න චිද් ධාතුවෙන් උපන් බවත් එහි අතීත ස්වරූපය මෙය බවත් මාලිනී ඩයස් ගේ අදහස යි (සම්මුඛ සාකච්ඡා 2015:4,21).

පූර්ව බ‍්‍රාහ්මී යුගයේ ආඛ්‍යාත ක‍්‍රියා වෙනුවට යෙදුණේ කෘදන්ත රූප ය (අමරවංශ හිමි 1969:27). වහරල ලිපිවල එය වෙනස් වෙමින් ආක්‍යාත ක‍්‍රියා රූපය යෙදී ඇති අයුරු හඳුනාගත හැකි ය (Paranavitana 1943:132-133) චිදවි යන්න ආඛ්‍යාත ප‍්‍රයෝජ්‍ය ක‍්‍රියාවකි (එම). වෙයවය (Paranavitana 1943:128-134) යන ආශිර්වාද ක‍්‍රියාව යෙදී ඇත. උත්තම පුරුෂයෙහි “වෙමි” යන අර්ථය දීම සඳහා පුද්ගල නාම සමඟ මි ප‍්‍රත්‍යයක් යෙදී ඇත (එම).

වහරල ලිපිවල එක් වචනයක් සඳහා විකල්ප රූප බොහොමයක් හඳුනාගත හැකි ය. වහරල යන්න විහරල, වෙහෙරිල, විහරිල, වහරලය, විහරලය, වෙහෙරලය ආදී වශයෙන් ද චිදවි යන්න චදවල චදෙවල සිඳව ආදී වශයෙන් ද යෙදී තිබෙනු හඳුනා ගත හැකි ය. ඒ අනුව සමස්තයක් වශයෙන් මෙකී වහරල ලිපිවල භාෂා ස්වරූපය විමසන කල භාෂාව වෙනස්වෙමින් පැවති බවත් වචනව රූපයන් බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයක පවතින්නට ඇති බවත් පෙනේ (අමරවංශ හිමි 1969:28).

ආකෘතික ලක්ෂණ

ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ පටන් ලියවුණු ලෙන්ලිපි (Paranavitana 1970) ක‍්‍රමයෙන් අභාවයට යන්නට ඇත. එම ලිපිවලට වඩා ප‍්‍රමාණයෙන් දීර්ඝ ඇතුළත් කරුණු වශයෙන් මඳක් හෝ සාර ලිපි ක‍්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල පටන් ලිවීමට පටන් ගෙන තිබේ. වහරල ලිපිවල ආකෘතික ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේ දී සම කාලීන අනෙකුත් ලිපි ලියා ඇති ආකෘතියට වඩා වෙනස් ස්වරූපයක් ගනී.

ආචාර්ය මාලිනි ඩයස් මැතිනිය

වහරල ලිපි බොහෝ විට පයට පෑගෙන ස්ථානයක ලිපිය සටහන් කර තිබීම හඳුනා ගැනීමට හැකි ය. සඳකඩපහනක්, පියගැට පෙළක් ආදී තැනක බෙහොමයක් වහරල ලිපි හඳුනාගත හැකි ය. සම කාලීන අනෙකුත් ශිලාලේඛන හා සංසන්දනය කරන විට ශිලාලේඛනයක් පිහිටුවීම වෙනුවෙන්ම ගල්තලය සකස්කර නොතිබීම හඳුනාගත හැකි විශේෂ ලක්ෂණයකි. අකුරු පේළි එකමත එක හෝ ළංව ලියා ඇති අතර ඒවා විවිධ ප‍්‍රමාණවලින් ද යුක්ත වේ. විටෙක සම්මත ව්‍යාකරණයෙන් හා සම්මත අක්‍ෂර වින්‍යාසයෙන් බැහැර වී ඇති ආකාරයක් දැකගත හැකි අතර බොහෝ විට බෞද්ධ විහාර ඇසුරු කරමින් ස්ථානගත වීම වැනි ලක්ෂණ වහරල ලිපි පිළිබඳ ව අවධානය යොමුකිරීමේ දී දැකගත හැකි ය. ඒ අනුව එක්තරා පිරිසකගේ විශේෂ අවශ්‍යතාවක් අරමුණු කරමින් මෙම ලිපි සටහන් කළා විය හැකි ය. මෙම ලිපි බොහෝමයක් අසම්පූර්ණ වාක්‍යවලින් යුක්ත ය. මේ කාලයේ අකුරු පුහුණු වන්නන් විසින් ලිපි සටහන් කළා ද යන්න පිළිබඳ සිතුණ ද එ වැන්නක් ගැන සඳහන් වන්නේ නැත. සමහර ලිපිවල ඇත්තේ වක්‍යංශයක් පමණි. සමහරු එය ලිපි කැබැල්ලක් ලෙස හඳුනා ගන්නා අවස්ථා ද පැවතිය හැක. ෙඑතිහාසික තොරතුරු බෙහෙවින් අල්ප ය.

වහරල ලිපි තුළින් හඳුනාගත හැකි සමාජ-පුරාවිද්‍යාත්මක කරුණු

අධ්‍යයනය කරන ලද වහරල ලිපි දෙස බැලීමේ දී පොදුවේ එම ලිපිවල හඳුනාගත හැකි අංග කිහිපයක් දක්නට ලැබේ. එ නම්, 1. දායකයාගේ නම, 2. දායකයාගේ ගම, 3. ඔහුගේ තනතුර හෝ රැකියාව, 4. කරන ලද දේ, 5. දෙන ලද දීමනාවේ ප‍්‍රමාණය හා 6. අනුමෝදනාව යනාදිය යි.

පුද්ගල නාම

මෙහි දී ආකාර දෙකක පුද්ගල නාම හඳුන්වා දිය හැකි ය. එනම් රජවරුන්ගේ නම් හා සමාජයේ අනෙක් පිරිසගේ නම් වශයෙනිග රාජ නාම හැරුණු විට අනෙක් නම් සමාජය කුළ ග‍්‍රාමීය නායකත්වයක් දැරූවන් හා සාමාන්‍ය මහජනතාව ලෙස හඳුන්වා දිය හැකි ය. එක් වහරල ලිපියක් තුළ බොහෝ අවස්ථාවල දී පුද්ගල නාම එකකට වැඩි අවස්ථා පවතී. උදාහරණ : වෙස්සගිරිය අංක 4 වහරල ලිපියේ සහසවරල, දලමෙය, සකනකන වෙසමිනිය යනුවෙන් නම් තුනක්ම දැක්වේ (Paranavitane 1943:128-139).

මෙම ලිපි බොහොමයක දරුවන්ල බිරිඳ, සොහොයුරන් ආදී වශයෙන් පවුලේ පිරිස් සම්බන්ධ කොට ලියා තිබේග හඳුනාගත හැකි නම් දෙස බැලීමේ දී ඒවා ශිලා ලේඛනවලට පොදු නොවූ සාමාන්‍ය ජනයා අතර පැවති යැයි සිතිය හැකි නම් විය හැකි ය. එක් ලිපියක සඳහන් නමක් තවත් වහරල ලිපියක දැකගත නොහැක. වහරල ලිපි හැරුණු විට සම කාලීන අනෙක් ලිපිවල ද මෙම නම් හඳුනා ගැනීමට අපහසු ය. මෙහි පුද්ගල නාම හඳුනාගත හැකි පුද්ගල නාම කිහිපය ඇසුරින් ඒවායෙහි ස්ත‍්‍රී පුරුෂ භාවය හෝ ඔවුන්ගේ ඥාතීත්වයන් තේරුම්ගත නොහැක. මෙම නම් සියල්ල පුරුෂයන්ට අයත් සංඥා නාම යයි අනුමාන කළ හැකි ය.

ස්ථාන නාම

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ගම් හෝ ප‍්‍රදේශ පිළිබඳවත් බෞද්ධ විහාරාරාම පිළිබඳවත් කරුණු අධ්‍යයනය කළ හැකි ය. වෙස්සගිරිය ලිපි අංක 1 හි ලතකතල නම් ග‍්‍රාම නාමය හා බොය උපුල්වන් කස්සපගිරි විහාරය (Paranavitane, 1943,128-139) ඊට නිදර්ශනයක් ලෙස දැක්විය හැකි ය. සමහර වහරල ලිපිවලින් ආරණ්‍යවල නම් ද හෙළි කරගත හැකි ය (Dias 137-141). පාලුහංගමුව එක් වහරල ලිපියක උත්තර දේශය යන්න සඳහන් වී තිබේ (Dias 1991:87). සමහර අවස්ථාවල දී ප‍්‍රදේශයේ නම හා විහාරයේ නම එකම ලිපියේ දැකගත හැකි නමුත් වෙන්වෙන්ව හඳුනාගත හැකි අවස්ථා ද පවතී. හඳුනාගත හැකි ග‍්‍රාම නාම වර්තමානයේ පවතී ද නැති ද යන්න හඳුනාගත නොහැක. මේවායේ එන විහාර පිළිබඳ නාම සමහර අවස්ථාවල දී සම කාලීන අනෙකුත් ශිලාලේඛන හා යෙදී ඇති අවස්ථා පවතින අතර අධ්‍යයනය කරන ලද ශිලා ලේඛනවල අන්තර්ගත ග‍්‍රාම හෝ ප‍්‍රදේශ නාම අනෙක් ලිපිවල පවතී ද යන්න සොයා බැලිය යුතු ය.

වෘත්තීය නාම

වහරල ලිපිවල අන්තර්ගතය දෙස බැලූ විට එතරම් උගත් පිරිසක් විසින් මෙම ලිපි රචනා කර ඇති බවක් නොපෙනේ. ඊට හේතුව ලිපි කොටවන ලද පුද්ගලයන්ගෙන් තම වෘත්තිය සඳහන් කළ අය අතුරින් බහුතරයක් උළු වඩුවන් වීම යි. ඔලුවඩු, උලුවඩු, උලුවදු ආදී ස්වරූපවලින් එය හඳුනාගත හැකි ය. ඒ හැර ව්‍යාපාරිකයින්, වඩු කාර්මිකයින්, රජු කෙරෙහි සේවයේ යෙදුණු සෙනවිවරු, අමාත්‍යවරු, ගුරුවරු ආදී වෘත්තිකයන් හඳුනා ගැනීමට හැකි විය. බොහෝ පිරිස් තම වෘත්තිය සඳහන් කර නැති ආකාරයක් දක්නට ඇති අතර එම නිසා ඔවුන් ග‍්‍රාමීය මට්ටමේ සාමාන්‍ය මිනිසුන් විය හැකියැයි අනුමාන කළ හැකි ය.

පැවිදි සමාජය

බොහෝමයක් වහරල ලිපි හමු වන්නේ විහාරයක් ආශ‍්‍රය කොට ගෙන ය. එ මෙන්ම බොහෝමයක් ලිපිවල යම්කිසි බෞද්ධ විහාරයක නමක් හෝ ආරණ්‍යයක නමක් හඳුනාගත හැකි ය. ඒ අනුව, මෙකී වහරල ලිපි විශේෂය රචනා කළ පිරිස විහාරයක් කේන්ද්‍ර කරගෙන තම සේවාව සැපයූ පිරිසක් විය හැකි ය. විහාරස්ථානයක නාම හැරුණු විට කුඩාරත්මලේ ලිපියේ “පුවිජයි සිධථ” යනුවෙන් දක්වා ඇත්තේ පැවිදි සිද්ධාර්ථ යන අදහස දීමට ය (Paranavitane 1955:30-34). නිලගම වහරල ලිපිවල සඟ යන්න සඳහන් වේ (හෙට්ටිආරච්චි නැත:31-36). කුඹුක්කන්දන ශිලාලේඛනයේ භික්ෂුවක් පිළිබඳ සඳහන් කරතත් නම හඳුනාගැනීමට නොහැක (Dias, 1991, 186).

වහරල ලිපි තුළින් අනාවරණය වන සමාජය

වහරල නමින් හැඳින්වෙන ලිපි විශේෂය රචනා වූයේ කිනම් පරමාර්ථයක් උදෙසා ද යන්න තවමත් ගැටළුවකි. සමාජයේ එක්තරා පුද්ගල පැලැන්තියක විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම ලිපි ලියන්නට ඇත. ශ‍්‍රී ලංකාවේ හමු වී ඇති වහරල ලිපි අතුරින් බහුතරයක් විහාරාරාමයක් කේන්ද්‍ර කරගෙන හමු වී තිබේ. එ මෙන්ම ලිපි විශාල සංඛ්‍යවක බෞද්ධ විහාරස්ථානයක් පිළිබඳ කියැ වේ. එම නිසා වහරල ලිපි තුළින් හඳුනාගත හැකි පිරිස විහාරයක් වෙත තම සේවාව සැපයූ පිරිසක් විය හැකි ය. වහරල ලිපි තුළින් ද සම කාලීන අනෙක් සෙල්ලිපි තුළින් ද අනෙකුත් මූලාශ‍්‍ර තුළින් ද (උදා: මහාවංශය, සමන්තපාසාදිකා) එ වන් සේවාවක් සැපයූ පිරිසක් ගැන හඳුනා ගත හැකි ය. එම නිසා වහරල තුළින් ගම්‍ය වන්නේ පරණවිතාන දක්වන ආකාරයට වහල් මෙහෙයක්නම් එය සම කාලීන සමාජය පුරා ව්‍යාප්ත වූවක් නොව විහාරස්ථානය වෙත එක්තරා පුද්ගල කොට්ඨාශයක් පමණක් සිදු කළ ක‍්‍රියාවලියක් විය හැකි ය.

මෙකී ක‍්‍රියාව පැහැදිලි කර ගැනීමටනම් ක‍්‍රිස්තු වර්ෂ 5-7 සියවස්වල විහාරාරාම පාලනය හා එහි ක‍්‍රියාකාරිත්වය කෙරෙහි විමසා බැලිය යුතු ය. ඒ පිළිබඳ විමසීමේ දී සම කාලීන සමාජයේ ආරාමයක පාලනය මුළුමනින්ම සංඝයා සතු කටයුත්තක් විය (රාහුල හිමි 1999:143). ආරාමයක සංඝයා ද ආරාමිකයන් ද විහාර ගම්බිම් ආදිය පිළිබඳ ව ද ව්‍යවස්ථා පැවති අතර දාසයන් පිළිබඳ පැවති ව්‍යවස්ථා ද විය (එම 141) විහාරවලට අයත් වූ දාසයන් හා වහලුන් ද ආරාමිකයන් ලෙස හඳුන්වා තිබේ (ගුණවර්ධන 1993:98). මේ අනුව, විශාල ප‍්‍රදේශයක ව්‍යාප්ත වී බෞද්ධ විහාරාරාමවල කටයුතු සිදු කිරීම සඳහා සිටි සේවකයන් අතුරින් දාසයන් නැතිනම් වහලුන් යනු එක් කොට්ඨාශයක් විය හැක. එහෙත් මොවුන් ග‍්‍රිසිය වැනි රටවල පැවති පෞද්ගලික නිදහසක් කොහෙත්ම නැති පිරිසක්නම් නොවේ (අමරවංශ හිමි 1996:39) ආරාමික යන නමින් හැඳින් වූ පිරිසට විහාරස්ථානයේ සේවය කළ සියලු ම පිරිස් අයත් විය (ගුණවර්ධන 1993:99). ඔවුන්ගෙන් සමහර දෙනෙක් රජවරුන්, මෙහෙසිවරුන් විසින් විහාරයට ප‍්‍රදානය කළවුන් ය (එම). ඔවුන්ගේ නඩත්තු පිණිස ද කටයුතු යොදා තිබේ (එම 100).

ආරාමවලට ආදායම් ලැබුණු අපූරු ක‍්‍රමයක් ලෙස ආරාමවල දාසයන්ගේ නඩත්තුව පිණිසත් ඔවුන් දාස කමෙන් මුදවාලීම පිණිසත් මුදල් පූජා කිරීම හැඳින්විය හැක (රාහුල හිමි 1999:151). ආරාමිකයන් අතරට දාසයන් බඳවා ගත්තේ කුමන පදනමක් මතදැයි පැහැදිලි නැත. වහරල යන්නෙහි අදහස පැහැදිලි කරමින් පරණවිතාන විසින් දක්වන වහල් භාවය යන්නට පිළිගත හැකි සාධක කිහිපයක් මේ අනුව හඳුනාගත හැකි ය. විහාරාරාමවල ක‍්‍රියාත්මක වූ වහල් මෙහෙය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කිරීමේ දී භික්ෂූන් විසින් දාසදාසියන් පිළි නොගත යුතු යැයි දේශනා කර ඇතත් සංඝ සමාජය ප‍්‍රසාරණය වී විහාරගම් වැඩිවත්ම ආරාමවල වැඩට ඔවුන්ගේ සේවාව යොදා ගත යුතු වන්නට ඇත. වහර, යන්නෙහි අදහස වහල්භාවය නොවන බව පිළිගත්ත ද විහාරස්ථානවල දාස ක‍්‍රමය ව්‍යාප්තව පැවති බව නිසැක ය (ගුණවර්ධන 1993:123). සිලාමේඝවර්ණ රජු යුද්ධයක දී අල්ලාගත් සිරකරුවන් දාසයන් ලෙස විහාරවලට ප‍්‍රදානය කර තිබේ (සුමංගල හිමි හා දේවරක්ෂිත 1996:පරි. 44:51) එ මෙන්ම සිව්වැනි අග්ගබෝධි ද (එම පරි. 40,38) පොත්ථකුට්ඨ ද (එම : පරි. 44,51) I වැනි සේන ද තමන් විසින් පිහිටුවන ලද නොයෙක් ආගමික ආයතනවලට වහලුන් සපයා තිබේ. මේ ආකාරයෙන් බලන කල වහරල ලිපි අයත් සම කාලීන සමාජයේ විහාරාරාම ආශ‍්‍රිත වහල් සේවයක් බැවති බව අනුමාන කළ හැකි ය. එකී පුද්ගලයන් පරණවිතාන දක්වන ආකාරයේ වෘත්තීය වහලුන් නොවන බව උපකල්පනය කළ හැක.

චිදවි යන්නෙන් අදහස් කරන්නේ “මිදවීය” යන්න බව පරණවිතානගේ අදහසයි (Paranavitane 1955:35-65). ආරාමවල දාසයන්ගේ නඩත්තුව පිණිස මුදල් පරිත්‍යාග කිරීම පුණ්‍ය කර්මයක් ලෙස සැලකුවා සේ ම ඔවුන් දාස බවෙන් මුදවා ලීම ඊටත් වඩා මහා ආනිශංශ ගෙනදෙන පිංකමක් විය (රාහුල හිමි 1999:53). තම දරුවන්, බිරිඳ හෝ වෙනත් පුද්ගලයෙකු දැසභාවයෙන් මුදවා ගත් අතර එකවර පුද්ගලයින් කිහිපදෙනෙකු එක් වී එක් පුද්ගලයෙකු දාස භාවයෙන් නිදහස් කරගැනීම ද පිළිබඳ සාධක හඳුනාගත හැකි ය. එහි දී ගෙවන ලද මුදල බොහෝ අවස්ථාවල දී කහවණු සියයක් වන අතර ඊට අඩු වැඩි වන අවස්ථා ද හඳුනාගත හැකි ය. ඒ අනුව, ‘චිදවි වහරල’ යන්න සම කාලීන සමාජයේ විහාරාරාමවල දාස මෙහෙය හා ඒ වටා වූ ක‍්‍රියා කලාපය විය හැකි බව අනුමාන කළ හැකි ය.

මෙකී සාධකවලට අමතර ව වහරල ලිපිවල අන්තර්ගතය හා ඒවායේ ආකෘතික ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ද ක‍්‍රිස්තු වර්ෂ 5-7 සියවස්වල සමාජයේ පැවති ලක්ෂණ කිහිපයක් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නිරීක්ෂණය කරන ලද සමහර වහරල ලිපි පියගැට පෙළේ, සඳකඩපහන් වැනි තැනෙක දැකගත හැකි නිසා ඒවා යම් පුද්ගල කණ්ඩායමකට යටහත් පහත් බවක් පෙන්නුම් කරන බවක් උපකල්පනය කළ හැකි ය. සම කාලීන අනෙකුත් සෙල්ලිපි හා සංසන්දනය කරන විට සෙල්ලිපියේ ආකෘතියෙහි අසම්පූර්ණතාව මෙම ලිපිවලින් මනාව පෙනේ. මේ යුගයේ දී සකස් කරන ලද ශිලා පුවරු මත ලිවීම් සිදු කර ඇතත් වහරල ලිපි සඳහා ශිලා පුවරුව වෙනම ම සකසා ගෙන ඇති ආකාරයක් බොහෝවිට හඳුනා ගැනීමට නොහැක. එ මෙන්ම ඉහළ පංතියේ යැයි සැලකිය හැකි පුද්ගලයින්ට ගරු කරමින් ඔවුන්ගේ ලිපිවලින් කැපීපෙනෙන වෙනසක් සහිත ව සටහන් කර ඇති අයුරක් ද දැකගත හැකි ය. මෙම ලිපිවල පවතින ව්‍යාකරණ හා අක්‍ෂර වින්‍යාස දෝෂ, එක ම වචනය විවිධ ස්වරූපවලින් යොදා ගැනීමල ආකෘතියේ අවිධිමත් බව වැනි කරුණු නිසා සංවිධිත අධ්‍යාපනයෙන් හීන පිරිසක් සටහන් කරන ලද ලිපි විශේෂයක් බවට ද තර්ක කළ හැකි වේ. දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් අනාවරණය වන වහරල ලිපි සමාන ආකෘතියක් සහිත ව රචනා කරන ලද බැවින් ඒ රචනා සම්බන්ධයෙන් පුද්ගල විශේෂීකරණයක් ක‍්‍රියාත්මක වූවා ද යන්නත් සලකා බැලිය හැකි වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • අමරවංශ හිමි, කොත්මලේ (1969), ලක්දිව සෙල්ලිපි, ඇම්ඞී.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • ගුණවර්ධන, රණවීර (1993) සිවුර සහ නඟුල, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ.
  • ගුණසේකර, බන්දුසේන (1996) සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • පඤ්ඤානන්ද හිමි, ඔක්කම්පිටියේ (2005) සිංහල අක්ෂර රූප විකාසය හා භාරතීය ආභාසය, කර්තෘ ප‍්‍රකාශනයකි.
  • ප‍්‍රියංක, බෙනිල් (2012) ලක්දිව පැරණි සෙල්ලිපි වල බහුලව හමුවන මෙතෙක් නොවිසඳුණු වදන් දෙකක් වහරල හා මතෙර මජිබක, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • බණ්ඩාර, නිලන්ති (2008) පුරාණ ලංකාවේ සමාජය, කඩුල්ල ප‍්‍රකාශන, කඩවත.
  • බුද්ධදත්ත, ඒ.පී. (1959) මහාවංශය, එම්. ඞී. ගුණසේන සහ සමාගම
  • මුදියන්සේ, නන්දසේන (2000), සිංහල ශිලාලේඛන සංග‍්‍රහය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • රාහුල හිමි, වල්පොළ (2002), ලක්දිව බුදුසමයේ ඉතිහාසය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • විමලකිත්ති හිමි, මැදඋයන්ගොඩ (2004), ශිලාලේඛන සංග‍්‍රහය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සන්නස්ගල, පුඤ්චිබණ්ඩාල (1991), සිංහල ශබ්ද කෝෂය 23 වන කාණ්ඩය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ප‍්‍රනාන්දු, පී.ඊ.ඊ. (1972), අභිලේඛන විඥානය පිළිබඳව පරණවිතාන මහතා කළ පර්ෙය්ෂණ, සෙනරත් පරණවිතාන, සංස්. රණවීර ගුණවර්ධන  හා ජිනදාස ලියනගේ, සංස්කෘති ප‍්‍රකාශන සංගමය, කොළඹ. 46-85
  • ප‍්‍රනාන්දු, පී.ඊ.ඊ. (1998), සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශය, අපේ සංස්කෘතික උරුමය, 3-10
  • ගුණසේකර, බන්දුසේන (2002) ආදිම සෙල්ලිපි හා එහි හැඩරුව, සද්ධාමංගල කරුණාරත්න අභිස්තව ග‍්‍රන්ථය, 31-36
  • රණවැල්ල, සිරිමල් (2008), මහ ඇඳුරු සෙනරත් පරණවිතානයන් ඇතැම් සෙල්ලිපි වල එන ඇතැම් පද පිළිබඳව දක්වා ඇති අර්ථ නිරූපන පිළිබඳ විමසුමක්, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා, 3 වෙළුම, සංස්. මුදිත කරුණාමුනි, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය 32-35
  • වජිර හිමි, හබරකඩ (2005), සමනබැද්ද විහාරයේ වහරල ලිපිය, පුරාතන, සංස්. ඩබ්. එච්. විජේපාල,  මධ්‍යම සංස්කෘතික අරමුදල හා සංස්කෘතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය 133-138
  • වීරරත්න, නලීන් (2003/2004), පිදුරංගල දළ්හ විහාරය, වැලිපිළ, 6 වන කලාපය, ඒකාබද්ධ පුරාවිද්‍යා උපාධිධාරී සංගමය හා මධ්‍යම සංස්කෘතික අරමුදල 40-43
  • සේනානායක, පියතිස්ස (2004), ශ‍්‍රී ලංකාවේ පැරණි අභිලේඛනවල අන්තර්ගත මුදල් සම්බන්ධ පරිත්‍යාග පිළිබඳ මූලික අධ්‍යයනයක්,  ඉඳුවර, සංස්. දයා අමරසේකර, හා හඟුරන්කෙත ධීරානන්ද හිමි, ආරිය ප‍්‍රකාශකයෝ, වරකපොළ, 349-365
  • සේනානායක, පියතිස්ස (2004), ශ‍්‍රී ලංකාවේ පැරණි අභිලේඛනවල අන්තර්ගත මුදල් සම්බන්ධ පරිත්‍යාග පිළිබඳ මූලික අධ්‍යයනයක්’, ඉඳුවර, 349-365
  • සෝමදේව, රාජ් (1997), රිදීගම සෙල්ලිපි, සංස්කෘතික පුරාණය, 2 වෙළුම, 7 කලාපය, සංස්. ටී.ජී. කුලතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදල,
  • හෙට්ටිආරච්චි, කරුණාසේන හා ටිකිරි බණ්ඩාර විජේපාල (2001), ලිකුරුණෑගල – පොල්පිතිගම ගල්කැටියාගම සේලමණ්ඩලාරාම විහාරය භූමියේ ඇති වහරල ලිපි කිහිපයක් පිළිබඳ අධ්‍යයනයක්, ජාතික පුරාවිද්‍යාඥයින්ගේ සභාව
  • හෙට්ටිආරච්චි, ඒ. එස්. (ප‍්‍ර.ව. නැත) රාජාංගනේ හත්ථිකුච්චි විහාරයේ සෙල්ලිපි, ශිලාලිපි සංග‍්‍රහය, දෙවන කලාපය, 31-36
  • Daraniyagala, S. (1992), Pre history of Sri lanka, Archaeological Survey  Department  of Sri Lanka
  • Dias, Malini (1991), Epigraphical Notes, Department of Archaeology, Colombo
  • Karunarathne, Saddhamangala (1984). Epigraphia Zeylanica Volume VII, Archaeological Survey of Sri Lanka
  • Knox, Robert (1958).  An Historicle relationof Ceylon, Tisara  Prekashakayo Ltd
  • Paranavitana, S. (1970), Inscription of Ceylon Volume I, Archaeological Survey Department of Ceylon
  • Paranavitana, S. (1983), Inscription of Ceylon Volume II, Part I, Department of Archaeology, Sri Lanka
  • Paranavitana, S. (2001), Inscription of Ceylon Volume II, Part II, ed.by. Malani.Dias, Archaeological Survey Department
  • Paranavitana, S. (1943). Epigraphia Zeylanica Volume VI, Published for the government of Ceylon by Humphrey Milford
  • Paranavitana, S., Godakumbura, C.E. (1963). Epigraphia Zeylanica Volume ¹, Archaeological Survey of Ceylon
  • Renfrew, Colin,(2005), Archaeology- The key concepts, Taylor and Francis Group, London and New York
  • Uduwara, Jayanta (1991), Epigraphia Zeylanica Volume ¹¸ part II, Department of Archaeology, Sri lanka
  • Wickremasinghe, Don Marthino de Silva. (1912). Epigraphia Zeylanica Volume I, Published for the government of Ceylon by Henry Frowde
  • Paranavitana, S,(1962), Some Sinhalese Inscription of Circa Sixth Century, University of Ceylon Review vol XX, 1-11
  • Ranawalla, Sirimal(2011), ‘Inscription of the late Anuradhapura period (from 550 AD to 1017AD), සිරිමල් රණවැල්ල උපහාර ලිපි සංග‍්‍රහය, 459-496
  • Seneviratne, Sudharshan (1984), ‘The Archaeology of the Megalithic Black and Red Ware Complex in Sri Lanka’, Ancient Ceylon No.5, 237-250
  • Wijeratne, D.J. (1952), University of Ceylon Review vol X, 103-117

කාර්මික පුරාවිද්‍යාවේ ආරම්භය හා විකාශනය

කේ.එච්. තිලිණි දුමින්ද්‍යා

පුරාවිද්‍යා නිලධාරි, කැනීම් අංශය, ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව.

හැඳින්වීම

සංකීර්ණ සමාජ සංකල්පය තුළ බිහි වී ඇති ප‍්‍රධාන අධ්‍යයන ක්ෂේත‍්‍රයක් ලෙස මානව සංස්කෘතිය හැඳින්විය හැකි ය. එහි එක් අධ්‍යයන ඒකකයක් ලෙස පුරාවිද්‍යාව දැක්විය හැකි ය. එහි දී අතීතයට අයත් වන්නා වූ සියලුම ද්‍රව්‍යාත්මක සංස්කෘතිය හදාරනු ලබයි. පුරාවිද්‍යාව තුළින් සිදු කෙරෙන කාර්යය වන්නේ ද්‍රව්‍යාත්මක සංස්කෘතිය තුළ ශේෂ වී ඇති අතීත මානව නිර්මාණ කි‍්‍රයාදාමයේ හමුවන භෞතික ශේෂයන් හා හෝඩුවාවන් පදනම් කරගනිමින් අතීත මානව සමාජයන්හි ප‍්‍රකෘති දත්ත ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීමයි (හෙට්ටිගේ හා බස්නායක; 2008, පි.15). කි‍්‍රස්තු වර්ෂ 1780 ගණන් වල පුරාවිද්‍යාව විෂයය ක්ෂේත‍්‍රයේ සිදු කරන ලද නව පර්යේෂණ, නව සොයා ගැනීම් හා හඳුනා ගැනීම් හරහා විෂයය ක‍්‍රමවත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට පුරාවිද්‍යාව විෂයය තුළින් මානව ක‍්‍රියාකාරීත්වය හා සම්බන්ධ විවිධ ක්ෂේත‍්‍රයන් අධ්‍යයනය කරමින් තම විෂයය පරාසය පුළුල් කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ. ඒ අනුව, ප‍්‍රධාන පුරාවිද්‍යාව විෂයය තුළ මානවවංශ පුරාවිද්‍යාව, පුරා උද්භිත විද්‍යාව, පුරා සත්ත්ව විද්‍යාව, පරිගණක පුරාවිද්‍යාව, සමුද්‍රික පුරාවිද්‍යාව, පුරා පාංශු විද්‍යාව වැනි අනු විෂයය කාණ්ඩ ගණනක් දක්නට ලැබේ. ඒ අතරට මෑතක දී එක් වූ අනු විෂයය කාණ්ඩය වන්නේ කාර්මික පුරාවිද්‍යාවයි (Industrial Archaeology). කාර්මික විප්ලවය නිසා බිහිවුණු මෙම විෂයයේ ආරම්භය හා විකාශනය පිළිබඳව මෙහි දී අපි විමසා බලමු.

කාර්මික පුරාවිද්‍යාව විෂයයේ පසුබිම

කාර්මික පුරාවිද්‍යාව විෂයයක් ලෙස ආරම්භ වීමට ප‍්‍රධානතම හේතුව වනුයේ දේශපාලනික හා ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ද යහපත් හා අයහපත් ප‍්‍රතිඵල රැසක් ගෙන දුන් කාර්මික විප්ලවයයි (Industrial Revolution). යුරෝපයේ මධ්‍යතන යුගයේ දී භාණ්ඩ නිෂ්පාදනය සිදු වුයේ සුළු පරිමාණයෙන් වන අතර ඒ ගෘහස්ථ හා හස්ත කර්මාන්ත වශයෙනි. නමුත් කි‍්‍රස්තු වර්ෂ 18 වන සියවසේ අග භාගයේ දී මිනිසා සිය දෑතේ සවිය වෙනුවට යන්ත‍්‍ර සූත‍්‍ර භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනයේ ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය ලෙස හැඳින්විය හැකි ය. සිංහල විශ්ව කෝෂයේ හත්වැනි කාණ්ඩයේ, “මිනිසාගේ ජීවනෝපාය සරල කෘෂි ස්වරූපයකින් සංකීර්ණ කාර්මික එකක් බවට පත් කළ ක‍්‍රියාවලිය කාර්මික විප්ලවය වේ” යනුවෙන් සඳහන් කොට ඇත (විජේතුංග හරිස්චන්ද්‍ර; 1988, පි. 1). මෙලෙස ඇරඹී කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වී අඩසියවසක් යනතුරුම එරටට සීමා වුව ද, ඊළඟ ශත වර්ෂය තුළ යුරෝපයේ සෙසු රටවලට ද, අනතුරු ව ලෝකයේ බොහෝ රටවලට ද මෙම කාර්මික විප්ලවය ව්‍යාප්ත විය. මෙම කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වීමට හේතු රැසක් බලපාන ලදී. කර්මාන්ත සඳහා ආයෝජනය කළ හැකි ඉතා ධනවත් පිරිසක් එංගලන්තයේ සිටීම, එංගලන්තයේ දේශීය හා විදේශීය වෙළෙඳ පොළ දියුණු වීම, ජනගහනය වර්ධනය වීම, ඉල්ලුමට අනුව සැපයුම සපුරාලීමට නොහැකි වීම, ගල් අඟුරු, යකඩ වැනි අමුද්‍රව්‍ය සුලභ වීම, 15 හා 16 වන සියවස්වල ඇති වූ යුරෝපයේ පුනරුදය හා විද්‍යාත්මක දැනුම පුළුල් වීම, විද්‍යාත්මක හා දේශ ගවේෂණ සිදු කිරීම, කෘෂි විප්ලවය සිදු වීම, ඉඩම් අහිමි වූ පිරිස් රැකියා සොයා නගරයට ඇඳී ඒම, එංගලන්තය සතුව ප‍්‍රබල නාවුක හමුදාවක් සිටීම, ලෝක වෙළෙඳ කටයුතු වල දී එරට ප‍්‍රමුඛස්ථානය හිමි කර ගෙන සිටීම ඒ අතර ප‍්‍රධාන වේ. මේ ආකාරයේ හේතූන් නිසාවෙන් එංගලන්තයෙන් ආරම්භ වූ මෙම කාර්මික විප්ලවය ප‍්‍රංශය, ජර්මනිය, හංගේරියාව, ප‍්‍රෂියාව, බෙල්ජියම, ඔස්ටි‍්‍රයාව වැනි යුරෝපීය රටවල මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ද කි‍්‍රයාත්මක විය. මෙම කාර්මික විප්ලවය පේෂ කර්මාන්තය, යකඩ හා වානේ කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය මෙන්ම ප‍්‍රවාහන හා සන්නිවේදන ක්ෂේත‍්‍රයන් ආශ‍්‍රිතව ද සිදු විය. එහි දී නව සොයා ගැනීම් හා අත්හදා බැලීම් හරහා නව යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ, ගොඩනැගිලි ආදිය නිපදවීම සිදු විය. පහත දැක්වෙන නව සොයා ගැනීම් ඊට කදිම උදාහරණ කිහිපයකි (ජයතිලක 2002:122-134).

  • ලෝම කැටීම සඳහා අතින් කි‍්‍රයාත්මක කළ හැකි ජෙනී යන්ත‍්‍රය නිපදවීම
  • 1784 හෙන්රි කෝට් රෝලර් නම් යන්ත‍්‍රය නිපදවීම
  • 1736 නිව්කොමන් විසින් වාෂ්ප එන්ජිම නිපදවීම
  • 1885 ජර්මනියේ ඩෙම්ලර් මෝටර් රථය නිපදවීම
  • 1876 ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල් දුරකතනය නිපදවීම
ඩෙම්ලර් මෝටර් රථය

මෙලෙස කි‍්‍රස්තු වර්ෂ 18, 19 සියවස්වල ඇති වූ කාර්මික විප්ලවය නිසා බිහිවුණු හා එකල භාවිත වූ යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ, ගොඩනැගිලි ස්මාරක හා ඒ හා සම්බන්ධ තාක්ෂණික අංගයන් පිළිබඳව හැදෑරීම නැතහොත් අධ්‍යයනය කිරීම කාර්මික පුරාවිද්‍යාව ලෙස හැඳින්විය හැකි ය (The study of the buildings & equipment that industries used in the past).

කාර්මික පුරාවිද්‍යාව හැඳින්වීම

කාර්මික පුරාවිද්‍යාව විෂයයක් ලෙස පුරාවිද්‍යාවට සම්බන්ධ වීම සිදු වනුයේ ක‍්‍රිස්තු වර්ෂ 1950න් පසුව ය. කාර්මික පුරාවිද්‍යාවේ පියා ලෙස සලකනුයේ මයිකල් රික්ස් ය (Michael Rix). බි‍්‍රටනිකා එන්සයික්ලෝපීඩියාහි කාර්මික පුරාවිද්‍යාව, “The study of the buildings, machinery, and equipment of the Industrial Revolution” ලෙස අර්ථ දක්වා ඇත. 2003 දී යුනෙස්කෝ සංවිධානය විසින් (UNESCO) කාර්මික උරුමයන් රැක ගැනීමේ අරමුණින් රුසියාවේදී “නිෂ්නි ටාජිල්” නමින් ප‍්‍රඥප්තියක් ඇති කරගනු ලැබීය. එම නිෂ්නි ටාජිල් ප‍්‍රඥප්තිය තුළ ද කාර්මික පුරාවිද්‍යාව නිර්වචනය කොට ඇත. එහි දී කාර්මික ක‍්‍රියාවලිය සඳහා හෝ එහි ප‍්‍රතිඵලයක් ලෙස ශේෂ ව ඇති සාක්ෂි ද්‍රව්‍යමය හෝ ද්‍රව්‍යමය නොවන ලේඛන, පුරාවස්තු, භූ ස්තර හා ස්තරණය, මානව ජනාවාස, ස්වභාවික හා නාගරික භූ දර්ශනයන් යනාදියේ අන්තර් ක්ෂේත‍්‍රයන්හි සිදු කෙරෙන අධ්‍යයන ක‍්‍රම වේදය කාර්මික පුරාවිද්‍යාව ලෙස අර්ථ ගන්වා ඇත. නිෂ්නි ටාජිල් ප‍්‍රඥප්තිය තුළින් කාර්මික පුරාවිද්‍යාවේ අධ්‍යයන කාල පරාසය ද හඳුන්වා දී තිබේ. ඒ කාර්මික විප්ලවය ආරම්භයේ සිට මේ දක්වා කාලය ලෙසයි. එහි දී පූර්ව කාර්මික හා නූතන කාර්මික ප‍්‍රභවයන් ද අධ්‍යයන පථයට ඇතුළු වන බව සඳහන් වේ. ඊට අමතර ව තාක්ෂණික ඉතිහාසය තුළින් හෙළිදරව් වන ශිල්පීය ක‍්‍රමයන් හා තාක්ෂණික දැනුම මෙම අධ්‍යයන ක‍්‍රමයන්ට ඇතුළු වන බව තවදුරටත් නිෂ්නි ටාජිල් ප‍්‍රඥප්තිය තුළ සඳහන් වේ (Industrial Archaeology is an interdisciplinary method of studying all the evidence, material and immaterial, of documents, artifacts, stratigraphy and structures, human settlements and natural and urban landscapes, created for or by industrial processes. It makes use of those methods of investigation that are most suitable to increase understanding of the industrial pasr and present – The Nizhny Tagil Charter for The Industrial Heritage/2003). බි‍්‍රටනිකා එන්සයික්ලෝපීඩියාවට හා නිෂ්නි ටාජිල් ප‍්‍රඥප්තියට අමතරව විද්වතුන් රැසක් ද කාර්මික පුරාවිද්‍යාව නිර්වචනය කොට ඇත.

කාර්මික විප්ලවයට අයත් මුල් කාලීන අවශේෂයන් අධ්‍යයන කරනු ලබන විෂයයකි
– මයිකල් රික්ස්

නුදුරු අතීතයට අයත් කර්මාන්ත හා සන්නිවේදන අධ්‍යයන ක‍්‍රමයන්හි ද්‍රව්‍යාත්මක අවශේෂයන්හි අධ්‍යයනයකි
– කෙනත් හඞ්සන්

මිනිසා ද්‍රව්‍යාත්මක සංස්කෘතියකට ප‍්‍රවිෂ්ට වීම හා ඒ අනුව ඔහු ජීවත් පරිසරයේ ඇති වූ වෙනස් වීම් ද හැදෑරිය යුතු මානව විද්‍යාත්මක අධ්‍යයනයකි
– ආතර් රයස්ටි‍්‍රක්

නූතන තාක්ෂණික ප‍්‍රවර්ධනයේ මුල් කාලීන කාර්මික අවශේෂයන් අධ්‍යයන කරනු ලබන විෂයයකි
– කොලින් රේන්ෆෘ

නූතන යන්ත‍්‍ර මූලික සමාජයන්හි ආදි ඉතිහාසය අධ්‍යයනයකි
– අයි. බාරි

මීට අමතර ව වෝල්ටන් මින්චින්ටන් පවසන්නේ මෙම කාර්මික පුරාවිද්‍යාව විෂයය පථයට එංගලන්තයේ ප‍්‍රාග් ඓතිහාසික ටිං කර්මාන්තය, මධ්‍ය කාලීන පිටි මෝල් ල 16 වැනි සියවසේ යකඩ කර්මාන්තය, වසර 2000ක් පමණ පැරණි චීනයේ නැව් තටාක, ඉන්දියන් ප‍්‍රාග් ආර්ය බැමි මෙන්ම ශ‍්‍රී ලංකාවේ ජල සම්පාදන ක‍්‍රම ද ඇතුළු වන බවයි. ඊ.සී. ග‍්‍රාන්ට්, කේ.වී. රාමන්, ඩබ්.ඒ. සීබ් වැනි උගතුන් ද කාර්මික පුරාවිද්‍යාව පිළිබඳ ව නිර්වචනය ඉදිරිපත් කොට ඇත. මීට අමතර ව ඇමෙරිකානු පුරාවිද්‍යාඥයෝ කාර්මික පුරාවිද්‍යාව නිර්වචනය කොට ඇත්තේ ඇමෙරිකානු කාර්මික විප්ලවයෙන් පසු ව ඇති වූ අවශේෂයන් අධ්‍යයනය කිරීම ලෙසයි. මෙම සියලු ම නිර්වචනයන් දෙස අවධානය යොමු කළ විට කාර්මික පුරාවිද්‍යාව යනු කාර්මික විප්ලවයෙන් බිහිවුණු යන්ත‍්‍රසූත‍්‍ර, උපකරණ, ගොඩනැඟිලි ස්මාරක හා ඒ හා සම්බන්ධ තාක්ෂණික අංග පිළිබඳ ව හැදෑරීම නැතහොත් අධ්‍යයනය කිරීම ලෙස හඳුන්වා දිය හැකි ය.

සාමාන්‍යයෙන් පුරාවිද්‍යාව විෂයය තුළ පුරාවස්තුවක් ලෙස සලකනුයේ වසර 100ක් පමණ පැරණි වටිනාකමක් ඇති ද්‍රව්‍යමය සාධකයන් ය. එ නමුදු කාර්මික පුරාවිද්‍යාවේ දී වසර 50ක් පමණ පැරණි වීම සෑහේ. කාර්මික පුරාවිද්‍යාවේ දී කැනීම් සිදු නොකෙරෙන තරම්ය. තවමත් කාර්මික පුරාභූමි පොළොව මතුපිට තිබෙන නිසා ය. කාර්මික පුරාවිද්‍යාව ක්ෂේත‍්‍ර අධ්‍යයනය මත පදනම් වූ විෂයයකි. කාර්මික පුරාවිද්‍යාවේ ඇති ක්ෂේත‍්‍ර ගවේෂණයේ වැදගත්කම නිසාවෙන්ම එය Dirty Archaeology යනුවෙන් හැඳින්වේ. කාර්මික පුරාවිද්‍යාවේ දී ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය ක‍්‍රම වේදයන් හතරක් තිබෙන බව ස්ටාබක්, හඞ්සන්, මින්චින්ටන් යන උගතුන් පෙන්වා දෙයි.

  1. සොයා ගැනීම/ක්ෂේත‍්‍ර අධ්‍යයනය (Discovery)
  2. ලැයිස්තුගත කිරීම (Listing)
  3. වාර්තාගත කිරීම (Documentation)
  4. සංරක්ෂණය (Conservation)
නානුඔය මහාමාර්ග කෞතුකාගාරයේ ඇති පැරණි යන්ත‍්‍රයක සඳහන් කර ඇති ලේඛනය

ඕනෑම විෂයයක් අධ්‍යයනය කිරීමේ දී මූලාශ‍්‍රය තොරුතුරු ඉතා වැදගත් වේ. යන්ත‍්‍රසූත‍්‍ර, උපකරණ, කාර්මික ගොඩනැඟිලි ස්මාරක හා ඒ හා සම්බන්ධ තාක්ෂණික අංග, එහි ඉතිහාසය, නිෂ්පාදන ආයතනයන්, ඉංජිනේරුවන් ආදීහූ පිළිබඳ ව තොරුතුරු ලබාගැනීමට මූලාශ‍්‍රයන් වැදගත් වේ. කාර්මික පුරාවිද්‍යාවේ දී ලිඛිත මූලාශ‍්‍රයන් නොමැති තරම්ය. එහි දී බොහෝ දුරට භාවිත කරනු ලබන්නේ කාර්මික අභිලේඛනයි (Industrial Epigraphy). එ නම් යම් යන්ත‍්‍රයක, කාර්මික ස්මාරකයක, කර්මාන්ත හා සම්බන්ධ යම් නිර්මාණයක එහි ඉතිහාසය සඳහන් කර ඇති ලේඛනයි. නානුඔය මහාමාර්ග කෞතුකාගාරයේ ඇති පැරණි යන්ත‍්‍රයක සඳහන් කර ඇති අභිලේඛනයට අනුව (ඡායාරූප 3) එම යන්ත‍්‍රය එංගලන්තයේ පීටර්බරෝ ප‍්‍රදේශයේ බාෆෝඞ් ඇන්ඞ් පර්කින්ස් සමාගම (Baford and Perkings Ltd – Peter Boroush, England) විසින් නිෂ්පාදනය කර ඇත. මීට අමතර ව යම් පමණකට කාර්මික පුරාවිද්‍යාව පිළිබඳව තොරුතුරු පැරණි සිතුවම්, සැලසුම්, පුවත්පත්, කාර්මික විප්ලවය සම්බන්ධයෙන් සහ ඒ හා බැඳුණු නිෂ්පාදන හා අනෙකුත් මාධ්‍යයන් පිළිබඳ ව ලියවුණු පොතපත ආදිය ද මූලාශ‍්‍රයන් ලෙස භාවිත කළ හැකි ය. ශී‍්‍ර ලංකාවේ නම් බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේ සිටි ලේඛකයන්ගේ වාර්තා, සැසි වාර්තා, ආණ්ඩුකාරවරුන්ගේ වාර්තා, ශී‍්‍ර ලංකාවේ වාසය කළ සිවිල් හා පරිපාලන නිලධාරින් හා දේශ සංචාරකයින් විසින් ලියන ලද කෘති ද මූලාශ‍්‍රයන් ලෙස පරිශීලනය කළ හැකි ය.

කාර්මික පුරාවිද්‍යාවේ විෂයය ක්ෂේත‍්‍රය

ලෝකයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සමත් වූ කාර්මික විප්ලවය පදනම් කරගනිමින් කාර්මික පුරාවිද්‍යාව විෂයය බිහි වූ බව ඉහත දී සඳහන් කළේ ය. කාර්මික පුරාවිද්‍යාව බහු විෂයීය අධ්‍යයන ක්ෂේත‍්‍රයක් බව එහි දක්නට ලැබෙන උප විෂයය ක්ෂේත‍්‍රයන්ගෙන් පැහැදිලි වෙයි. කාර්මික ගොඩනැඟිලි හා යන්ත‍්‍රසූත‍්‍ර, දුම්රිය මාර්ග හා ඒ ආශි‍්‍රත ස්මාරක, බිං ගෙවල්, පාලම් වැනි පැරණි සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් හා සංඥා, මහා මාර්ග හා ඒ ආශි‍්‍රත ස්මාරක, පැරණි මෝටර් රථ හා ප‍්‍රවාහන ක‍්‍රම, සන්නිවේදන පද්ධතිය සම්බන්ධ සියලු ම අංගෝපාංග, පැරණි නාවුක හා යුද කටයුතු සම්බන්ධ ස්මාරක හා යන්ත‍්‍රසූත‍්‍ර උපකරණ, ගුවන් ගමන් සම්බන්ධ ස්මාරක, සිනමාව සම්බන්ධ උපකරණ සහ තාක්ෂණය ආදි කාර්මික අංශයට සම්බන්ධ සියලු ම දෑ පිළිබඳ ව අධ්‍යයනය කිරීම කාර්මික පුරාවිද්‍යාවෙන් සිදු කෙරේ.

කාර්මික පුරාවිද්‍යාවේ විෂයය වර්ධනය

කාර්මික පුරාවිද්‍යාව විෂයයක් ලෙස වර්ධනය වීමට ප‍්‍රථම 20 වැනි සියවසේ මුල් භාගයේ දී කාර්මික උරුමයන් පිළිබඳ ව අධ්‍යයනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා විවිධ කණ්ඩායම් ඉදිරිපත් විය. ෂෙෆීල්ඞ් විශ්ව විද්‍යාලය විසින් 1918 දී ෂෙෆීල්ඞ් නගරයේ කාර්මික ඉතිහාසයේ මූලයන් ආරක්ෂා කිරීම සඳහා Sheffield Trades Technical Societies නමින් සංගමයක් ස්ථාපනය කළේ ය. 1920 දී නිව්කොමන් සංගමය (Newcomon Society) විසින් ආරම්භයේ දී මහා බි‍්‍රතාන්‍යයේ කෞතුක වටිනාකමක් ඇති කාර්මික විප්ලවයේ ශේෂ වන වාෂ්ප එන්ජිම්, යකඩ පාලම්, යන්ත‍්‍රසූත‍්‍ර, ඇළ මාර්ග සහ අනෙකුත් ඓතිහාසික මානව කෘති ඇතුළු ඉංජිනේරු ශිල්පය හා එම තාක්ෂණයේ ඉතිහාසය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සිදු කළේ ය. 1964 දී එංගලන්තයේ ප‍්‍රථම කාර්මික පුරාවිද්‍යාව පිළිබඳ ව ජාතික සඟරාව ආරම්භ කරන ලද්දේ නිව්කොමන් සංගමය විසිනි. 1935 දී නැගෙනහිර මධ්‍යධරණී ප‍්‍රදේශයේ කෝන්වෝල් ප‍්‍රදේශයේ පතල් හා එන්ජිම් ආරක්ෂා කිරීම සඳහා කෝනිෂ් එන්ජිම් ආරක්ෂණ කමිටුව (Cornish Engines Conservation Committee) විසින් සැලසුමක් ඉදිරිපත් කරන ලදී. මහා බි‍්‍රතාන්‍යයේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ද කාර්මික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සැලසුම් ක‍්‍රියාත්මක කරන ලදී. 1925 දී කාර්මික කෞතුකාගාර වලින් එකක් ඇමෙරිකා එක්සත් ජනපදයේ Rhode දූපතේ Old Slater Mill නමින් කෞතුකාගාරයක් ආරම්භ කළේ ය. එය 1793 දී ප‍්‍රථම සාර්ථක රෙදිපිළි නිෂ්පාදනය කළ යන්ත‍්‍රසූත‍්‍රාගාරය විය. සංරක්ෂණය කරන ලද රෙදිපිළි නිෂ්පාදනය කළ යන්ත‍්‍ර සූත‍්‍ර 19 වන සියවසේ දී එහි නැවත ගබඩා කළේ ය. එහි දී 17 වැනි සියවසේ පැවති ආකාරයට ම ඒවා ගබඩා කිරීමට කටයුතු කිරීම විශේෂ කරුණකි. එම සංගමය විසින් 1966 දී ජාතික වශයෙන් පැවති ඓතිහාසික කාර්මික ස්ථාන ප‍්‍රකාශයට පත් කරන ලදී. Old Slater Mill කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂතුමා වූ පෝල් ඊ. රිවර්ඞ් විසින් 1970 දී Society of Industrial Archaeology (SIA) සංගමය පිහිටු වීමට මූලික අඩිතාලම දමන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැදගත් කාර්මික උරුමයක් ලෙස සෝගුස් ප‍්‍රදේශයේ (Sogus) සෝගුස් යකඩ කර්මාන්ත ශාලාව පෙන්වා දිය හැකි ය. එය දකුණු ඇමෙරිකාවේ ඉදිකළ ඒකීයකරණයට ලක්කළ ප‍්‍රථම යකඩ කර්මාන්ත ශාලාව වේ. එය 1940 දී රෝලන්ඞ් ඩබ්ලිව්. රොබින්ස් විසින් කැනීම් කළ අතර 1950 දී පමණ එය නැවත ගොඩනැඟීම සිදුකරන ලදී (Industrial Archaeology – wikipedia).

කාර්මික පුරාවිද්‍යාව විෂයයක් ලෙස වර්ධනය වීමේ කාල වකවානු ව ලෙස 1950න් පසු කාලය හඳුන්වා දිය හැකි ය. ඒ අනුව, කාර්මික පුරාවිද්‍යාවට තිබෙනුයේ වසර 55ක පමණ ඉතිහාසයකි. “කාර්මික” (Industrial) යන වචනය මුළින්ම ඉදිරිපත් කළේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ලතින් භාෂාව පිළිබඳ ව මහාචාර්යවරයෙකු වූ ඩොනල්ඞ් ඩඞ්ලි විසිනි. ඔහු කළේ එම වචනය හඳුන්වා දීම පමණි. කාර්මික පුරාවිද්‍යාව පිළිබඳ ව මූලික කතිකාවතක් ආරම්භ කළේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ම මයිකල් රික්ස් ය. ඒ 1955 දී “ආධුනික ඉතිහාසඥයා” (The Amateur Historian) යනුවෙන් සඟරාවකට පල කරන ලද ලිපිය මඟිනි. 18 හා 19 වැනි සියවස්වලට අයත් කාර්මික ස්ථාන හා එංගලන්ත කාර්මික විප්ලවයේ අවශේෂයන් පිළිබඳ ව මනා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය බව එහි දී ඔහු විසින් ප‍්‍රකාශ කරන ලදී. කුඩා කෞතුකාගාර ඉදිකරමින්, ස්මාරක විනාශ වීම වළක්වමින් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේ ය. එංගලන්තය, කාර්මික විප්ලවයේ කේන්ද්‍රස්ථානය ලෙස ද මයිකල් රික්ස් පවසයි.

Great Britain : he said as the birth place of the Industrial Revolution is full of monuments left by the remarkable series of events…” (Hudson Kenneth 1963:11)

තවදුරටත් මයිකල් රික්ස් පවසා සිටිනුයේ මෙම කාර්මික විප්ලවයේ අවශේෂ රැක ගැනීමට යම්කිසි යාන්ත‍්‍රණයක් තිබිය යුතු බවයි. කාර්මික පුරාවිද්‍යාව අධ්‍යයන පථයට 18 හා 19 සියවස්වලට අයත් වාෂ්ප එන්ජිම්, යකඩ පාලම්, ඇළ මාර්ග ආදිය ඇතුළු වන බව තවදුරටත් මයිකල් රික්ස් පවසයි (හඞ්සන් කෙනත් 1963:11). මයිකල් රික්ස් සාකච්ඡාවට බඳුන් කළ කාර්මික හා පුරාවිද්‍යාව යන වචන දෙකට විවේචන එල්ල විය. ඒ එම වචන දෙක එකට සම්බන්ධ කළ හැකි ද යන්නයි. වසර 7ක් පමණ මෙම මතවාද පැවතිණි. මයිකල් රික්ස් සාධක ඉදිරිපත් කරමින් තම අදහස් තහවුරු කිරීමට සමත් විය. බි‍්‍රතාන්‍යය කවුන්සිලය විසින් ද මෙම කාර්මික පුරාවිද්‍යාව යන වචනයන් පිළිගන්නා ලදී. ඒ අනුව 1959 දී බි‍්‍රතාන්‍යය කවුන්සිලය විසින් (CBC) කමිටුවක් පත් කළේ ය. ඒ කාර්මික උරුමයන් රැක ගැනීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට ය. මේ කාලය තුළ ප‍්‍රබල කාර්මික ස්මාරකයක් වූ යූස්ටන් ආරුක්කුව (Euston Arch) කඩාගෙන වැටීම සිදු විය. එහි දී එය ආරක්ෂා කර ගත යුතු බවට හඬක් නැඟිණි. ඒ අනුව, යූස්ටන් ආරුක්කුව කඩා වැටීම සම්බන්ධව සොයා බැලීමට ද බි‍්‍රතාන්‍යය කවුන්සිලය විසින් කමිටුවක් පත් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1965 දී පමණ යූස්ටන් ආරුක්කුව පිළිබඳ ව ගවේෂණ වාර්තාවක් ඉදිරිපත් කළේය. එහි දී මෙය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් වෙනත් ස්ථානයකට හෝ ගෙනගොස් සවි කරන ලෙසට ප‍්‍රබල ජන හඬක් නැගෙන බව පෙනිණි. යූස්ටන් ආරුක්කුව සම්බන්ධ මෙම සිදුවීම හරහා කාර්මික උරුමයන් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වූ අතර ම කාර්මික පුරාවිද්‍යාව විෂයයක් ලෙස වර්ධනය වීමට බලපෑ ප‍්‍රධානතම ගාමක බලවේගයක් ලෙස ද ක‍්‍රියාත්මක විය (Industrial Archaeology – wikipedia).

යූස්ටන් ආරුක්කුව

අනතුරුව 1965 දී කාර්මික අවශේෂ වාර්තාගත කොට ලේඛන ගත කිරීම බාත් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලදී. 1960 දී පමණ සිට කාර්මික පුරාවිද්‍යාවට සම්බන්ධ දේශීය ආයතන රැසක් බිහිවීම එංගලන්තය තුළ දක්නට ලැබෙයි.

  • Gloucestershire Society for Industrial Archaeology, 1963
  • Bristol Industrial Archaeological Society, 1967
  • Greater London Industrial Archaeology Society, 1968

මෙම දේශීය කාර්මික පුරාවිද්‍යා ආයතනවල ප‍්‍රථම මෙහෙයුම ලෙස කාර්මික අවශේෂයන් කාර්මික උරුමයන් ලෙස වාර්තාගත කරන ලදී. කාර්මික පුරා ස්ථානයක් හෝ පුරා වස්තුවක් වාර්තාගත කිරීමේ දී ස්ථානයේ ඉතිහාසය පිළිබඳ ව කෙටි සාරාංශයක්, පැරණි සිතියම්, ඡායාරූප, මිනුම්, කටු සටහන් සහ වර්තමානයේ පෙනෙන්නට තිබෙන තත්ත්වය රැගත් ඡායාරූප ඇතුළු කරන ලදී. වාර්තාවේ පිටපත් අනාගත ප‍්‍රයෝජනය සඳහා ලේඛනාගාරගත කරන ලදී (Industrial Archaeology, wikipedia).

එංගලන්තයේ කම්බර්ලන්ඞ් හා වෙස්මෝලන් යන ප‍්‍රදේශවල කාර්මික ස්මාරක පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කොට ඇත. මෙම වාර්තා ප‍්‍රකාශයට පත් වීමත් සමඟ ම ඒවා කියවීම තුළින් ජනතාවගේ අවධානය කාර්මික උරුමයන් කෙරෙහි වැඩි විය. බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ කාර්මික උරුමය පිළිබඳ ව දේශන පවත්වා ඇත. 1962 දී වේල්ස් විශ්ව විද්‍යාලය විසින් කාර්මික පුරාවිද්‍යාව හා උතුරු වේල්සයේ ඉතිහාසය පිළිබඳ ව සම්මන්ත‍්‍රණයක් පවත්වා ඇත. මෙහි දී ලෝහ උණු කිරීම, යකඩ නිෂ්පාදනය සහ ජල පොම්පාගාර ආශ‍්‍රිත ව සමීක්ෂණයක් පවත්වා ඇත. තවත් සමීක්ෂණයක් කාර්මික බිම් හා කාර්මික නිවාස පිළිබඳ ව පවත්වා ඇත. කාර්මික බිම් ආශ‍්‍රිත ව බොහෝ කාර්මික අවශේෂ රැඳී තිබෙන බව එහි දී සොයා ගනු ලැබී ය. කාර්මික උරුමයන් සොයා ගැනීමත් සමඟ ම විශ්ව විද්‍යාලයවල ඒවාට අදාළ ව පාඨමාලාවන් ආරම්භ කළේ ය. එමඟින් කාර්මික උරුමයන් පිළිබඳ ව ජනතාවගේ අවධානය තවත් වැඩි විය. 1961 දී ජූලි මස වන විට කාර්මික විප්ලවයේ සාහිත්‍යමය අවධිය හා 18 වැනි සියවසේ කළ කැනීම් පිළිබඳ ව ඉගැන්වීම් ඇතුළු පාඨමාලා ආරම්භ විය. 1962 දී Shrewsbury ගී‍්‍රෂ්ම පාසලේ ද එ වැනි ම විෂයයන් ඉගැන්වීම කරන ලදී. 1958/1959 කාලයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලය විසින් කාර්මික පුරාවිද්‍යාව පිළිබඳව පාඨමාලාවන් ආරම්භ ලදී (හඞ්සන් කෙනත් 1963:20-21). ක‍්‍රමානුකූල ව අධ්‍යයනය කළ ප‍්‍රථම කාර්මික පුරා භූමිය වන්නේ එංගලන්තයේ පිහිටි ජෝර්ජ් යකඩ පාලමයි. එය 17 වැනි සියවසේ ආරම්භ වූ කාර්මික ප‍්‍රදේශයකි. 18 වැනි සියවසේ දී එහි යකඩ හා සෙරමින් නිෂ්පාදනය කොට ඇත. ජෝර්ජ් යකඩ පාලම සංකේතවත් කරමින් 1967 දී කෞතුකාගාරයක් ලෙස ප‍්‍රසිද්ධියට පත් කළ අතර 1986 දී යුනෙස්කෝව (UNESCO) විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී (Industrial Archaeology, wikipedia).

1963 දී බි‍්‍රතාන්‍යය ජාතික ලේඛකයෙකු වූ කෙනත් හඞ්සන් විසින් ප‍්‍රථමවරට කාර්මික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ග‍්‍රන්ථයක් පල කරන ලදී. ඒ Industrial Archaeology, An Introduction නමිනි. ඉන් වසර 4කට පසුව 1976 අපේ‍්‍රල් මස දී කෙනත් හඞ්සන් විසින් වොෂින්ටන් නගරයේ Smithsonian Institution හි දී කාර්මික පුරාවිද්‍යාව පිළිබඳ ව සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. ඒ සඳහා ඉතිහාසඥයන්, සංරක්ෂකයන්, කෞතුකාගාර නිලධාරින් හා අනෙකුත් පිරිස් සම්බන්ධ විය. මෙහි අරමුණ වූයේ මහා බි‍්‍රතාන්‍යයේ හා යූරෝපයේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ද කාර්මික පුරාවිද්‍යාව පිළිබඳ ව උනන්දුව වැඩි කිරීමයි. Historic American Buildings Survey (HABS) මඟින් ඓතිහාසික කාර්මික ස්ථාන විශාල සංඛ්‍යාවක් වාර්තාගත කරන ලදී. විශේෂයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් යුක්ත ඒවා එහි දී ප‍්‍රධාන විය. 1967 හා 1968 යන වර්ෂවල දී New England Textile Mills Survey (NETMS) නමින් ව්‍යාපෘති දෙකක් කි‍්‍රයාත්මක කරන ලද අතර එහි දී රෙදිපිළි නිෂ්පාදන කරන යන්ත‍්‍රසූත‍්‍ර පිළිබඳ ව ඒ ව්‍යාපෘතීන් සිදු කරන ලදී. මෙය මැන්චෙස්ටර් හා හැම්ප්ෂයර් (Hampshire) යන ප‍්‍රාන්ත ආශි‍්‍රත ව මෙය සිදු කරන ලදී. එම ව්‍යාපෘතිවල සාර්ථකත්වයෙන් පසුව 1969 දී ඓතිහාසික ඇමෙරිකානු ඉංජිනේරු වාර්තා වැඩසටහන (Historic American Engineering Record) සමඟ ඇමෙරිකානු සිවිල් ඉංජිනේරුවන්ගේ සංගමය (American Society of Civil Engineers) එකතු වීම සිදු විය. එ තැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ කාර්මික ඉංජිනේරුමය ස්ථාන හා ව්‍යූහයන් වාර්තාගත කිරීම කරන ලදී (Industrial Archaeology, wikipedia).

1970 දශකය කාර්මික පුරාවිද්‍යාවේ වැදගත් කාල පරිච්ජේදයක් විය. තෝරාගත් රටවල් කිහිපයක ආධුනික හා පලපුරුදු වෘත්තිකයන් එකතු වී විවිධාකාරයේ අරමුණු හා පසුබිම් හේතු කරගෙන ප‍්‍රායෝගික වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදී. 1971 දී විවිධ කෞතුකාගාර, විශ්ව විද්‍යාල සහ රජයේ ආයතන නියෝජනය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ පිරිස් වොෂින්ටන් නගරයේ දී හමු විය. අදහස් හා තොරුතුරු හුවමාරු කරගැනීම වැඩිදියුණු කිරීමට එහි දී කටයුතු කළ අතර ම Society for Industrial Archeology (SIA) ආයතනය පිහිටුවා ගන්නා ලදී. එම සංගමයේ ප‍්‍රථම පුවත් හසුන 1972 ජනවාරි මාසයේ ප‍්‍රකාශයට පත් කරන ලදී. එම වර්ෂයේ ම අපේ‍්‍රල් මස SIA ආයතනයේ ප‍්‍රථම සම්මන්ත‍්‍රණය නිව්යෝර්ක් නගරයේ දී පවත්වන ලදී. 1975 දී SIA ආයතනය විසින් කාර්මික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් The Journal of the Society of Industrial Archaeology නමින් ශාස්ත‍්‍රීය සඟරාවක් ද ආරම්භ කරන ලදී. එහි කර්තෘ වූයේ ඉමෝනි එල්. කෙම්ප් ය.

1973 දී මහා බි‍්‍රතාන්‍යයේ Association of Industrial Archaeology (AIA) ආයතනය පිහිටු වී ය. එය දේශීය වශයෙන් සැදුම්ලත් කාර්මික පුරාවිද්‍යාව හා සම්බන්ධ කණ්ඩායම් එකතු වී නිර්මාණය කරන ලද්දකි. AIA ආයතනය විසින් කාර්මික පුරාවිද්‍යාව පුවත් සමඟ ශාස්ත‍්‍රීය සඟරාවක් Archaeology Review නමින් 1976 දී පල කරන ලදී. මෙම ආයතනයේ සාමාජිකයන් විසින් යුරෝපයේ හා ලෝකයේ අනෙකුත් කාර්මික අවශේෂයන් පිළිබඳ ව වැඩසටහන් දියත් කරන ලදී. 1970 දී උතුරු ඇමෙරිකාවේ හා යුරෝපයේ ස්ථාපනය වූ කර්මාන්ත ශීඝ‍්‍රයෙන් ඇඳ වැටීමත් සමඟ කාර්මික පුරාවිද්‍යාඥයන් විසින් ඒවා වාර්තාගත කිරීම හා සංරක්ෂණය කිරීම කරන ලදී. උදාහරණයක් ලෙස Sloss Furnade, බර්මින්හැම්, ඇලබාමා වසා දැමීමත් සමඟ 1971 දී එළිමහන් කෞතුකාගාරයක් ලෙස ප‍්‍රකාශයට පත් කොට පසු ව 1983 දී එය විවෘත කොට 1983 වන විට විවිධාකාරයේ අධ්‍යාපන හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදී (Industrial Archaeology – wikipedia).

1982 දී එංගලන්තයේ කාර්මික පුරාවිද්‍යාව සම්බන්ධ ආයතනවල කුඩා ස්වේච්ඡා කණ්ඩායම් විසින් අතීත හා වර්තමාන කර්මාන්ත පිළිබඳ ව වාර්තා චිත‍්‍රපට හා වීඩියෝ තැනීම සිදු කොට ඇත. 1980 දී එංගලන්තයේ මෙන් ඇමෙරිකාවේ ද කාර්මික පුරාවිද්‍යාව විෂයය පරාසය විස්ථාපනය වීම දක්නට ලැබේ. මෙ කල පුරාවිද්‍යාවේ තිබෙන සිද්ධාන්ත කාර්මික ක්ෂේත‍්‍රයන්ට අනුගත කිරීම සිදු වෙයි. බි‍්‍රතාන්‍යය කාර්මික පුරාවිද්‍යාඥයෝ ප‍්‍රධාන වශයෙන් වාර්තා ගත කිරීම සඳහා අරමුණු කර ගත්තේ ස්මාරකවල හා ස්ථානයන්හි තාක්ෂණික අංගයන්ය.

1990 වන විට කාර්මික උරුමයන් පිළිබඳ ව වැදගත්කම මෙන්ම වර්ධනයක් ද සිදු වීම මෙම අවධියේ දී දක්නට ලැබේ. මේ වන විට කාර්මික පුරා ස්ථාන රැසක් යුනෙස්කෝව විසින් ලැයිස්තු ගත කරන ලදී. සංරක්ෂණය කරන ලද කාර්මික පුරා භූමි සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා ලදි. 1999 දී European Route of Industrial Heritage (ERIH) ආයතනය ස්ථාපනය වේ. මෙ මඟින් බොහෝ කාර්මික පුරා ස්ථාන සංරක්ෂණය කොට කෞතුකාගාර සඳහා භාවිත කෙරිණි. මෙ කල කාර්මික පුරාවිද්‍යාව වැඩි වශයෙන් අධ්‍යයන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වීම දක්නට ලැබේ. පර්යේෂණ සිදු වීමත්, කාර්මික පුරාවිද්‍යාව සම්බන්ධව ව්‍යාපෘති දියත් වීමත්, පලපුරුදු වෘත්තිකයෝ සම්බන්ධ වීමත්, භූ දර්ශන පුරාවිද්‍යාව (Landscape Archaeology) වැනි සිද්ධාන්තමය පුරාවිද්‍යා විධි නියමයන් බිහිවීමත් ඊට හේතු විය.

බොහෝ විශ්ව විද්‍යාලයවල උපාධි පාඨමාලා සඳහා කාර්මික පුරාවිද්‍යාව ඇතුළු විය. ඒ අතර මිචිගන් විශ්ව විද්‍යාලය හා Iron Bridge Institution ආයතනය ප‍්‍රධාන වේ. 2003 දී නිෂ්නි ටාජිල් ප‍්‍රඥාප්තිය (Nizhny Tajil Charter) ඇති කරගනු ලැබේ. ඒ The International Committee for the Conservation of the Industrial Heritage (TICCIH) නම් ජාත්‍යන්තර සංවිධානය මඟින් රුසියාවේ දී පැවැත්වූ 12 වැනි සම්මේලනයේ දී ය. එය කාර්මික උරුමයන් අධ්‍යයනය, තොරුතුරු රැස් කිරීම, සංරක්ෂණය, අර්ථ නිරූපණය යනාදිය සඳහා ඇති කරගත් ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රඥාප්තියකි. 2011 දී ICOMOS ආයතනය , TICCIH ආයතනය සමඟ පැරීසියේ දී එකතු වී ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කරන ලදී. කාර්මික උරුම ස්ථාන සංරක්ෂණය, කාර්මික ප‍්‍රදේශ හා එහි භූ දර්ශනයන්, මූලික සැලසුම් ආදිය පිළිබඳ ව මෙහිදී ප‍්‍රතිපත්ති මාලාව සකස් කරන ලදී. එය ඩුබ්ලින් ප‍්‍රතිපත්ති මාලාව ලෙස හැඳින්වේ. වර්තමානය වන විට කාර්මික පුරාවිද්‍යාව සම්බන්ධව ආයතන රැසක් බොහෝ රටවල බිහි වී තිබේ.

  • AIR – Romanian Association for Industrail Archaeology, Romania (2007)
  • JIAS – Japan Industrial Archaeology Society, Japan (1977)
  • IHAI – Industrial Heritage Association of Ireland, Ireland (1996)

ශ‍්‍රී ලංකාවේ කාර්මික පුරාවිද්‍යාව හා එහි විෂයය ක්ෂේත‍්‍රය

ශ‍්‍රී ලංකාවේ ද කාර්මික පුරාවිද්‍යාව විෂයය ආරම්භ වූයේ මෑත කාලයේ ය. මෙ රට කාර්මික උරුමයන් ඇති වන්නේ ශ‍්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව ය. කොල්ලකාරී, ආක‍්‍රමණකාරී පිළිවෙතක් අනුගමනය කළ පෘතුග‍්‍රීසින් යටතේ මෙ රටේ කිසිදු සංවර්ධනයක් සිදු නොවී ය. ලන්දේසින් විසින් මුහුදුබඩ ප‍්‍රදේශවල කුරුඳු, කෝපි, ගම්මිරිස් යම් පමණකට වගා කළ ද, එය මෙ රට ආර්ථිකය තුළ කිසිදු වෙනසක් ඇති නොකළේ ය. බි‍්‍රතාන්‍යයන් යටතේ 1830 දී මෙරට කෝපි වගාව ආරම්භ කිරීමත් සමඟම මෙ රට ආර්ථිකය වෙනසකට මුල පිරුවේය. ඒ හරහා කාර්මික උරුමයන් මෙ රට ඇති වීම සිදු වෙයි. ශ‍්‍රී ලංකාව තුළ කාර්මික ස්මාරක වර්ග දෙකක් හඳුනාගත හැකිය.

1. සමාජ කාර්මික පුරාවිද්‍යා ස්මාරක
2. ආගමික කාර්මික පුරාවිද්‍යා ස්මාරක

සමාජ කාර්මික පුරාවිද්‍යා ස්මාරක යටතේ වතු වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වා පදිංචි කරන ලද ශ‍්‍රමිකයන් වෙනුවෙන් ඉදිකළ කම්කරු නිවාස, කර්මාන්ත ශාලා, ගබඩාගාර, වතු රෝහල් මෙන්ම වතු බංගලා ද, ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට අදාල මහා මාර්ග, දුම්රිය මාර්ග හා පාලම්, බිං ගෙවල් වැනි ඒ ආශ‍්‍රිත අනෙකුත් තාක්ෂණික අංගයන් සහ තැපැල් සේවය වැනි සන්නිවේදන ක්ෂේත‍්‍රයට අදාල කාර්මික ස්මාරක ආදිය ද මෙහි දී අධ්‍යයනය කෙරෙයි. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට අදාල කාර්මික පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටි මාර්ගයක් ලෙස උඩරට දුම්රිය මාර්ගය පෙන්වා දිය හැකි ය. ආගමික කාර්මික පුරාවිද්‍යා ස්මාරක අතර කාර්මික පුරාවිද්‍යා ස්ථාන ආශ‍්‍රිතව පිහිටි ආගමික නිර්මාණයන් හඳුනාගත හැකි ය.

  • උඩරට දුම්රිය මාර්ගයේ 18 වැනි බිංගෙය අසල ඉදිකර ඇති දේවාලය
  • හපුතලේ තේ කර්මාන්ත ශාලාව තුළ පිහිටුවා කුඩා දෙවොල
  • මාතලේ මුතුමාරි අම්මාන් කෝවිල
මාතලේ මුතුමාරි අම්මාන් කෝවිල

ඒ අනුව මෙරට කාර්මික ක‍්‍රියාවලියක් බවට පත් වීමේ අඩිතාලම වතු වගාවන් සමඟම ආරම්භ වූ අතර ඊට සමගාමීව කාර්මික නිර්මාණයන් ද ගොඩනැෙඟන්නට විය.

මෙ රට කාර්මික ගොඩනැගිලි ආශ‍්‍රිත ව ඇති කලා ශිල්පමය නිර්මාණයන් Industrial Art වශයෙන් වර්ධනය විය. 1875 දී මහනුවර පත්තිනි දේවාලය අභියස සාදන ලද වතුර මල උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි ය. මේ ආකාරයට කාර්මිකරණයට අදාලව ස්මාරක බිහි විය. එම කාර්මික ස්මාරක අධ්‍යයනය සඳහා කාර්මික පුරාවිද්‍යාව විෂයය ආරම්භ විය. 1990න් පසුව කාර්මික ස්මාරක කිහිපයක් පුරාවිද්‍යා ස්මාරක ලෙස ලේඛනගත කොට තිබේ. ඒ අතර මාවනැල්ල පාලම, පේරාදෙණිය දුම්රිය ස්ථානය කඩුගන්නාව ඩෝසන් කුළුණ කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානය, හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය, කෞතුකාගාර කිහිපයක්, ප‍්‍රදීපාගාර කිහිපයක්, පැරණි ඔරලෝසු කණු කිහිපයක් ප‍්‍රධාන වේ. පිළිමතලාවේ මහා මාර්ග කෞතුකාගාරය තුළ මහා මාර්ග ඉදිකිරීම හා සම්බන්ධ පැරණි යන්ත‍්‍රසූත‍්‍ර ප‍්‍රදර්ශනය කොට තිබේ. මෙම කෞතුකාගාරය ඉදිකාට ඇත්තේ නානුඔය පැරණි මහා මාර්ගය පදනම් කරගෙනය. මීට අමතර ව පැරණි තේ කම්හලක් පදනම් කරගත් හන්තාන තේ කෞතුකාගාරය ද, මෙ රට ප‍්‍රථම දුම්රිය අංගනය පදනම් කරගත් දුම්රිය කෞතුකාගාරය ද, තැපැල් කෞතුකාගාරය ද, නාගරික කෞතුකාගාරය ද කාර්මික ස්මාරක තැන්පත් කළ කෞතුකාගාර කිහිපයක් වේ. මෙරට කාර්මික පුරාවිද්‍යා ස්මාරකවලින් වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ ප‍්‍රවාහන පද්ධතියට අයත් ස්මාරකයන්ය.

පේරාදෙණිය පැරණි දුම්රිය ස්ථානය

ශ‍්‍රී ලංකාවේ කාර්මික පුරාවිද්‍යාව විෂයය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයන ප‍්‍රවේශයක් ලෙස එය විශ්ව විද්‍යාලයවලට ඇතුළු කරන ලදී. ඒ අනුව 1992 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ කාර්මික පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව පර්යේෂණයක් සිදු කරන ලදී. 1994 දී නැවතත් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින්ම මෙරට ආදී නූතන පාලම් පිළිබඳව අධ්‍යයනය කරන ලදී. මීට අමතරව ශ‍්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය පිළිබඳ ව කාර්මික පුරාවිද්‍යා අධ්‍යයනයක් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සිදු කෙරිණි. පැරණි දුම්රිය ස්මාරක හඳුනා ගැනීම එහි අරමුණ විය.

කඩුගන්නාව ඩෝසන් කුළුණ

කාර්මික පුරාවිද්‍යාව විෂයය අධ්‍යයන විෂයයක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ආරම්භ වන්නේ 2001 වර්ෂයේ ය. වර්තමානය වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ හා රජරට විශ්ව විද්‍යාලයේ ද පුරාවිද්‍යාව උපාධි පාඨමාලාව සඳහා මෙම විෂයය එක්කර ඇත. මීට අමතර ව මෙ රට භාවිත කළ ඉපැරණි මෝටර් රථ හිමිකරුවන් විසින් එකතු වී සංගමයක් පිහිටුවා ඇති අතර එමඟින් මෝටර් රථ රැළි පැවැත්වීම, ප‍්‍රදර්ශන පැවැත්වීම වැනි කටයුතු සිදු කෙරේ. ශ‍්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින කාර්මික පුරාවිද්‍යාව විෂයය වැඩි දියුණු කිරීමටත්, පර්යේෂණ සිදු කිරීමට සුදුසු පසුබිමක් සැකසීමටත්, නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම නිසා විනාශ වන කාර්මික උරුමයන් ආරක්ෂා කර ගැනීමටත්, නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ය.

සාරාංශය

18, 19 වැනි සියවස්වල සිිදු වූ කාර්මික විප්ලවය හේතුවෙන් බිහි වුණු කාර්මික අවශේෂයන් අධ්‍යයනය සඳහා නිර්මාණය වූ කාර්මික පුරාවිද්‍යාව විෂයය වර්තමානය වන විට ඉතා ජනප‍්‍රිය අධ්‍යයන ක්ෂේත‍්‍රයක් ලෙස හඳුනාගත හැකි ය. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද කාර්මික පුරාවිද්‍යා උරුමයන් අධ්‍යයනය කෙරේ. කාර්මික පුරාවිද්‍යා උරුමයන්, අතීත මානව සමාජයන්හි ප‍්‍රකෘති දත්ත ගොඩනඟා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍යාත්මක සංස්කෘතිය තුළ ශේෂ වී ඇති මානව නිර්මාණ කි‍්‍රයාදාමයේ හමුවන භෞතික ශේෂයන් හා හෝඩුවාවන් වන නිසාවෙනි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • ජයතිලක, පී.ඩබ්ලිව්. (2002), යුරෝපා ඉතිහාසය 2 (නූතන යුරෝපය 1815 දක්වා), එස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • විජේතුංග, හරිස්චන්ද්‍ර 1998), සිංහල විශ්ව කෝෂය, හත්වැනි කාණ්ඩය, සංස්කෘතික අමාත්‍යංශය, කොළඹ.
  • හෙට්ටිආරච්චි ඞී.ඊ; (1978), සිංහල විශ්ව කෝෂය, ස වැනි කාණ්ඩය, සංස්කෘතික අමාත්‍යංශය, කොළඹ.
  • හෙට්ටිගේ, උදා හා එච්.ටී. බස්නායක  (2008), පුරාවිද්‍යා ප‍්‍රවේශය, එස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • යුරෝපා ඉතිහාසය, ක‍්‍රි.ව. 1500 සිට 1950 දක්වා, (2004), අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Hudson, Kenneth (1963), Industrial Archaeology, John Baker Publisher Ltd, London.
  • http://www.wikipedia.org/wiki/Industrial_Archaeology
  • The Nizhny Tagil, Charter for The Industrial Heritage, 2003

 

මෙම ලිපියේ පරිශීලනය පහත දක්වා ඇති පරිදි දක්වන්න.

දුමින්ද්‍යා, කේ.එච්.ටී., කාර්මික පුරාවිද්‍යාවේ ආරම්භය හා විකාශනය, https://www.archaeology.lk/sinhala/?p=1434, (පිවිසුම් දිනය දක්වන්න.)

ගාලු වරායේ ගිලී ගිය තැපැල් නෞකාව ආර්.එම්.එස්. රැන්ගුන් (R.M.S. Rangoon)

ඩබ්. එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන හා ඉන්දික උපුල් හේවගේ

මුහුදු පුරාවිද්‍යා නිළධාරී, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල.

priyandana@gmail.com

 

රුක්‍ෂාන් ප‍්‍රියන්දන හා ඉන්දික උපුල් හේවගේ

සංක්ෂිප්තය

මෙරට ඉතිහාසය තුළ ගාල්ලට හිමිවනුයේ විශේෂී ස්ථානයකි. එහිලා පැරණි කොටුව හා වරාය වැදගත් සාධක වේ. පෘතුගී‍්‍රසි, ලන්දේසි හා ඉංග‍්‍රිසි ජාතිකයින් පෙර අපර දෙදිග හා සම්බන්ධ ජාත්‍යන්තර ගනුදෙනු සිදුකල ප‍්‍රධාන වරාය වූයේ ගාල්ල වරායයි. ස්වභාවික වරායක් වූ මෙහි අවට වූ ගල් පර්වත ආරක්‍ෂාවට මෙන්ම නෞකා විනාශයට ද ඉවහල් විය. මේ හේතුව මත වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නෞකා විශාල ප‍්‍රමාණයක් මුහුදු බත්ව ඇත. දැව හා යකඩ භාවිතයෙන් නිර්මිත රුවල් නෞකා, වාෂ්ප නෞකා හා තෙල් භාවිතයෙන් යාත‍්‍රා කළ නෞකා ද ඒ අතර වේ. අපගේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන ආර්. එම්. එස්. රැන්ගුන් (R.M.S. Rangoon) නෞකාව ද ගාල්ල වරාය ආසන්නයේ ගිලීගිය වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ නෞකාවකි. R.M.S. යනු Royal Mail Ship (රාජකීය තැපැල් නැව) යන්නයි (https://en.wikipedia.org/wiki/Royal_Mail_Ship). ඔස්ටේ‍්‍රලියාව හා ලංකාව අතර තැපැල් ගනුදෙනු සිදු කරනු ලැබුවේ මෙම නෞකාවෙනි. ක‍්‍රි. ව 1871 නොවැම්බර් මස 1 වැනි දින රැන්ගුන් නැව ගිලී ගිය වසර ලෙසින් සඳහන් වේ. මේ සම්බන්ධව අධ්‍යනය කිරීමේ දී සමකාලීන පුවත්පත් වාර්තා අධ්‍යයනය මෙන්ම අන්තර්ජාල තොරතුරු ද යොදා ගත්හ. එසේම නෞකාවේ වර්තමාන තත්වය පිළිබඳව ක්ෂේත‍්‍ර ගවේෂණය ද ක‍්‍රමවේදයන් ලෙසින් භාවිත කොට ගත්හ.

මුඛ්‍ය පද : R.M.S. Rangoon,  වාෂ්ප නෞකාව, නාවුක තැපැල් සේවාව, පුරාවස්තු

හැඳින්වීම

අනාදිමත් කාලයක සිටම පෙරදිග හා අපරදිග නාවිකයන් අතර ගාල්ල ප‍්‍රසිද්ධ වූයේ නගරයක් ලෙස නොව ආරක්‍ෂිත වරායක් හා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ය. ගාල්ලේ ඉතිහාසය ගත් කල එය ගාලු වරායේ ඉතිහාසය ම බව පැහැදිළි ය. අතීතයේ සිට ම ගාලූ වරාය අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති බවට පුරාවිද්‍යාත්මකව සාධක හමු වී ඇත. කි‍්‍රස්තු වර්ෂ 5, 7 සියවස්වලට අයත් රෝම කාසි ගාල්ල වරාය ආශ‍්‍රිතව හමු වී ඇත. ගාලූ වරාය චීන හා අරාබි ජාතිකයන් අතර වෙළඳ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස තිබූ බවත් කි‍්‍රස්තු වර්ෂ 4, 5 සියවස්වල පටන්ම චීන යාත‍්‍රා ලක්දිවට වෙළඳ භාණ්ඩ සැපයූ අතර අරාබි ජාතිකයින් එම භාණ්ඩ අපරදිග රටවලට ගෙන ගිය බවත් සඳහන්ය. ගාලූ වරාය පිළිබඳව තවත් වැදගත් සාක්‍ෂියක් ලෙස ගාල්ලෙන් හමුවන චීන, දෙමළ හා පර්සියන් භාෂා ති‍්‍රත්වයෙන් ලියන ලද “ති‍්‍රභාෂා” ශිලා ලිපිය පෙන්වා දිය හැකි ය (දොඩම්වල 2012:2). “ටිසිං” රාජවංශය පැවැති කාලයේ (කි‍්‍ර. ව. 317 – 419) විසූ  “චංකේ” නම් චීන ජාතිකයා තම රට වැසියන් කුරුඳු ගෙනාවේ “ලෝලෙ” වරායෙන් යැයි සඳහන් කරයි. මෙහි ලෝලෙ යනුවෙන් හඳුන්වන්නේ ගාල්ල වරායයි. ගාල්ල වරායක් වශයෙන් මුලින්ම භාවිත වූයේ කවදා ද යන්න පිළිබඳ නිශ්චිත සාධක නොමැති නමුත් ක‍්‍රිස්තු වර්ෂයෙන් ආරම්භයේ පටන්ම වරායක් ලෙස පැවැති බව සිතිය හැකි ය. ලංකාවේ මුල්ම සිතියම ලෙස හැඳින්වෙන කි‍්‍රස්තු වර්ෂ 139 දී පමණ අඳින ලද ගී‍්‍රක ජාතික ටොලමිගේ ලංකා සිතියමේ ගාල්ල හඳුන්වා ඇත්තේ “එවියම් ප්‍රොමන්ට්ස්” (Eviyam promants) යන නමිනි.

පැරණි ගාලූ වරායේ නෞකා නවතා ඇති ආකාරය

ගාල්ල වරායේ ඇති ස්වභාවික පිහිටීම හේතුවෙන් වර්ෂයේ සෑම කාලයක ම නැව් නවතා තිබිය හැකි වීම එහි ජනප‍්‍රියතාවට හේතු විය. කොළඹ වරාය වැඩිදියුණු කරන තෙක් දිවයිනේ ප‍්‍රධානතම වරාය වුයේ ද ගාලු වරායයි. වාෂ්ප නෞකා බිහිවීම මත යාත‍්‍රා විශාල වීමත් වේගය වර්ධනය වීමත් යන කාරණා මත 19 වැනි ශතකයේ අග භාගයේ පටන් ගාල්ලේ වැදගත්කම අඩු වන්නට විය. ගාල්ල සහ ඒ අවට තිබූ පාරිසරික තත්ව හේතුවෙන් නෞකා විනාශ වීම තවත් සාධකයක් ලෙසින් පෙන්වා දිය හැක. 1647.10.6 වැනි දින ගාල්ලට පැමිණි “ජෝහැන් ජේකොබ්ස් සාර්” නැමැති ලේඛකයා එකල ගාල්ල වරාය ගැන දැක්වූයේ මෙසේ ය. “මෙහි ඉතා හොද වරායක් තිබේ. මුළු අවුරුද්දේම එහි නැව් නවතා තැබිය හැකි ය. නමුත් භයානක ගල් තිබේ. එ බැවින් අලුතින් නැවක් එන විට වෙඩි තුනක් තැබිය යුතු ය. ඊට ඉස්සර පැමිණි නැවක් නම් එක වෙඩිල්ලක් තබන්නේ ය. ඒ වෙඩි සංඥාවට උත්තර වෙඩිල්ලක් ලැබුණොත් වරායේ නියමුවෙකු එනතුරු නවතාගෙන සිටිය යුතු ය” (කුමාර, ප‍්‍රියන්දන, හේවගේ ඇතුළු පිරිස 2011:3). මේ ආකාරයට ඉතාමත් ආරක්‍ෂාකාරී තත්ත්වයක ගාලු වරාය අතීතයේ පැවැත ඇත. එ ෙස්ම විවිධ හේතුකාරණා නිසාවෙන් ද මේ ආශ‍්‍රිතව නෞකා විශාල ප‍්‍රමාණයක් විනාශ විය. පෘතුගීසි යුගයේ සිට වර්තමාණය දක්වා ම ගිලීගොස් ඇති නෞකා හඳුනා ගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයට හැකියාව ලැබිණ. Site E ඇවෝස්ටර් (Avondester), හර්කියුලිස් (Hercules) මෙසේ හඳුනාගත් පැරණි ලී රුවල් යාත‍්‍රාවන්ය. ගාල්ල වරාය තුළත් වරායෙන් පිටතත් වාෂ්ප නෞකා විශාල ප‍්‍රමාණයක් ගිලීගොස් ඇත.

වාෂ්ප නෞකා බිහිවීම

තෝමස් නොවෙක්මන් විසින් 1712 දී වාෂ්ප එන්ජිම දියුණු කිරීමත් සමග නාවුක ගමනාගමනයේ සංවර්ධනය උදා විය. වාෂ්ප එන්ජිම වැඩිදියුණු කිරීම් හා එතෙක් පැවති වාෂ්ප එන්ජිම කාර්යක්ෂමතාව වැඩිකොට අවර පෙති හා සංයුක්ත එන්ජින් හී දියුණුවක් 18 වැනි සියවසේ අග භාගයේ ජේම්ස් වොට්සන් විසින් සිදු කළහ. (https://en.wikipedia.org/wiki/History_of_the_steam_engine) මෙම කාල සීමාව වන විට එංගලන්තයේ සාගර ගමනාගමනය සඳහා වාෂ්ප එන්ජිම සාර්ථක ලෙසින් අනුගත වීමට අවශ්‍ය මුලික අඩිතාලම සැකසී තිබිණ, නොවෙක්මන් ගෙන් සියවසකට පසුව ස්කොට්ලන්ත ඉංජිනේරු විලියම් Symington විසින් වාෂ්ප නෞකා තාක්‍ෂණය තව දුරටත් වර්ධනය කරන ලදී. ලෝකයේ වාෂ්ප බෝට්ටු නිර්මාණය ගංගාවලින් ද්‍රව්‍ය හා මගීන් ප‍්‍රවාහනය කිරීම අරමුණු කොට ගෙන නිර්මාණය විය. (https://en.wikipedia.org/wiki/Steamship) දැව හා වානේවලින් ඉදි කරන ලද විශාල නැව් බඳ සහිත යාත‍්‍රා දියත් කිරීමේදී සුළඟ පමණක් ප‍්‍රමාණවත් නොවීම ද පුනරුද සමයත් සමගම ඇතිව තිබු තාක්‍ෂණික දියුණුවත් සමග නාවුක ගමනාගමනය නොසිතූ පරිදි වර්ධනය වීමට බල පෑ ප‍්‍රධානම සාධකයකි.

වාෂ්ප නෞකා තැනීම සඳහා කුඩා යාත‍්‍රා මගින් ලද අභාෂය බලපාන ලදී. කාර්මික විප්ලවයත් සමග වාෂ්ප නෞකා ඉදිකිරීමේ තාක්ෂණය වර්ධනය විය. වාෂ්ප එන්ජිම් විශාල වීමත් සමග යෙදෙන බලයත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබිණ. වාෂ්ප එංජින් තාක්‍ෂණය ප‍්‍රවාහනය හා ගමනාගමනය සඳහා යොදා ගනිමින් නෞකා නිර්මාණය සඳහා සමාගම් විශාල සංඛ්‍යාවක් බිහිවිය. තාක්ෂණය තුළින් වේගවත්, වැඩි ආර්ථික අරමුණුත් ඉටුකර ගැනීමේ අභිලාශය මුලික කොට ගනිමින් එතෙක් තිබු නාවික යාත‍්‍රා සැලසුම් වෙනස් විය. අවර පෙත්ත කරකැවීම සඳහා යොදා ගනු ලැබූ තාක්‍ෂණයේ ඉදිරි පියවරක් ලෙස වාෂ්ප එන්ජිම් නෞකා හැඳිනගත හැකි ය.

නාවුක තැපැල් සේවාවේ ආරම්භය

ක‍්‍රිස්තු පූර්ව 2,000 දී පමණ ඊජිප්තුවේ ද ක‍්‍රිස්තු පූර්ව 1,000 දී පමණ චීනයේ ද ලිඛිත පණිවිඩ හුවමාරු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ බවට සාධක තිබේ. ක‍්‍රිස්තු පූර්ව 520 දී පමණ පර්සියානු අධිරාජ්‍යයා විසින් තම අධිරාජ්‍යයේ තොරතුරු හා විස්තර දැන ගැනීම සඳහා තැපැල් සේවාවක් ක‍්‍රියාත්මක කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ (https://muddara.wordpress.com). මෙසේ ක‍්‍රමයෙන් දියුණු වෙමින් 15 වන සියවස වන විට යුරෝපා රටවල් කීපයකම තැපැල් සේවාව ආරම්භ කෙරිණි. ක‍්‍රිස්තු වර්ෂ 1635 දී එංගලන්ත රජයේ අනුග‍්‍රහය ඇතිව එරට තැපැල් සේවය ආරම්භ කෙරිණි. මෙම තැපැල් සේවාව එරට රාජකීයන්ට පමණක් සීමා වූ සුපිරි ගණයේ සේවාවක් විය. ක‍්‍රිස්තු වර්ෂ 1642 දී එංගලන්ත පාලකයා වූ එඞ්වඞ් රජු විසින් බහුතර ජනතාවකට ප‍්‍රයෝජනය ගත හැකි තැපැල් සේවාවක් නිර්මාණය කිරීමට පියවර ගත්හ. (http://www.lankasinhala.com/2public/vishwakoshaya/doku.php?id=history: ceylon_post&) සුදු ජාතිකයන් අත පැවති තැපැල් සේවාව යටත්විජිතකරණයත් සමග අනෙකුත් රටවල් කරා ව්‍යාප්ත කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ. එයට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ යටත්විජිත තුළ සේවය කරන තම රට වැසියන් සමග සන්නිවේදන ක‍්‍රියාවලියක් ලෙසිණ.

1840 දශකයේ එංගලන්තය විසින් මුහුදු තැපැල් සේවාව නිළ වශයෙන් ආරම්භ කරන ලදී. රජයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුද්ගලික සමාගම් කිහිපයක් විසින් තැපැල් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු සිදු කලහ. ක‍්‍රමයෙන් සමාගම් අතර තරඟකාරී බවක් වර්ධනය වූයේ වඩාත් කාර්යක්‍ෂම හා වේගවත් සේවාවක් ලබා දීම උදෙසා ය. පී.ඇන්.ඕ. සමාගම මේ අතර ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කලේ ය. (https://en.wikipedia.org/wiki/Royal_Mail_Ship) තැපැල් නැව් සේවාව සඳහා ආර්.එම්.එස්. (R.M.S) යන නම භාවිත වන්නට විය. R.M.S. යනු Royal Mail Ship (රාජකීය තැපැල් නැව) යන්නයි.

ආර්. එම්. එස්. රැන්ගුන් (R.M.S. Rangoon) නෞකාව

1871 දී The Mercury නම් ඔස්ටේ‍්‍රලියා වේ පුවත්පතක R.M.S. Rangoon නැවේ අනතුර සම්බන්ධ තොරතුරු දක්වා ඇති අයුරු

P & O (Peninsular & Oriental Steam Navigation Company & (https://www.pocruises. com.au/about /history) සමාගම සතු වාෂ්ප නැවකි. නෞකාව සඳහා ඍග R.M.S. Rangoon යන නම මෙන්ම S.S. Rangoon ලෙසින්ද භාවිත කර ඇත. එස්.එස්. (S.S) යන්න පොදුවේ වාෂ්ප නෞකාවන් හැඳින්වීම සඳහා යොදාගෙන ඇත. එස්.එස්. (S.S) යනු වාෂ්ප නැව (Steam Ship) යන්නයි.

1863 දී Samuda Brother (සැමුදා බ‍්‍රදර්ස්) නම් සමාගම එංගලන්තයේ දී නැව නිර්මාණය කර ඇත. එහි සම්පූර්ණ දිග මීටර් 89.85ක් ද පළල මීටර් 11.61ක් ද ගැඹුර මීටර් 5.36ක් ද වන සේ නිර්මාණය කරන ලදී. බර ටොන් 1,776කි. වාෂ්ප භාවිතයෙන් ධාවනය වූ මෙහි එන්ජිම නිර්මාණය කරනු ලැබුවේ එංගලන්තයේ Humphrys Tennant &  Dykes ආයතනයයි. තනි අවර පෙත්තක් සහිත යාත‍්‍රාවේ අශ්වබල 1,870 සහිතව පැයට නාවික සැතපුම් 12ක වේගයකින් ගමන් කරයි. (http://www.poheritage.com/Content/Mimsy/Media/factsheet/ 94361RANGOON-1863pdf.pdf)

නෞකාව පළමු වරට දියත්කර තිබෙනුනේ 1863.4.4 දින ය. දියත් කරන ලද පළමු දිනයේ ම East Greenwich නගරයේ ගංගාවක් හරහා ගමන් කිරීමේ දී නෞකාව ගංගා පතුලේ වැදීම හේතුවෙන් වෙරළ දක්වාම ඇල හෑරීමට සිදුව තිබේ. එයින් සිදු වූ හානිය නිසා නැවතත් නැව ප‍්‍ර‍්‍රතිසංස්කරණය කිරීමට සිදුව ඇත. 1863.7.4 වන දින නැව ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇත. 1863.8.4 වන දින පරීක්‍ෂණ ධාවනය Stoke Bay කලාපයේ සිදු කිරීමෙන් අනතුරුව P & O සමාගමට නැව භාරදෙන ලදී. South Hampton සිට කල්කටා හරහා ගාල්ල දක්වා මංගල ගමන් වාරය 1863.8.31 වන දින සිදු විය. නොවැම්බර මස 4 වැනි දින එය ගාල්ලට පැමිණෙන ලදී. 1863.12.10 වන දින නෞකාව කල්කටා (Calcutta) සිට සූවස් (Suez) දක්වා ගමන් කිරීමේ දී ඒඞ්න් (Aden) ආශ‍්‍රිතව හටගත් කාර්මික දෝෂයක් හේතු කොට ගෙන අතරමං විය. එහි ප‍්‍රාදේශීය සුල්තාන්වරයෙකුගේ භට පිරිස් විසින් නෞකාව අත්පත් කරගත්හ. නැව බේරා ගෙන නැවත සේවයේ යොදවන තෙක් ඒඞ්න් හී විය. 1863.12.25 ඒඞ්න්හි සිට නෝනා (Norna) නම් යාත‍්‍රාව යොදාගනිමින් නෞකාව ඇදගෙන යනු ලැබී ය. 1865.1.18 වන දින නෞකාවේ අවි ගබඩාවේ පිපිරීමක් ඇති විය. නෞකාව බොම්බෙ (Bombay) සහ ඒඞ්න් අතර නැවතුන අතර එම සිද්ධියෙන් පළමු පන්තියේ මගියෙකු ලෙස ගමන් කල කුඩා දරුවෙකු දරුණු තුවාල ලැබී ය. එම ගින්න නිවා දැමීමට පැය තුනක පමණ කාලයක් ගත විය. නෞකාව 1871 දී ගාල්ල සහ සිඞ්නි අතර තැපැල් සේවයේ යෙද වීය (http://www. poheritage.com/Content/ Mimsy/Media/ factsheet/94361 RANGOON-1863pdf.pdf).

ආර්. එම්. එස්. රැන්ගුන් (R.M.S. Rangoon) නෞකාව අනතුරට පත්වූ දිනය ලෙසින් සඳහන් වන්නේ 1871 නොවැම්බර් මස 1 වන දින ය. ගාල්ල වරායට පැමිණ තැපැල් මලු බහා නැවතත් තැපැල් මලු රැගෙන ඕස්ටේ‍්‍රලියාව වෙත යාම සඳහා පිටත්වීමේ දී අනතුරට මුහුණ දී ඇත (The Ceylon Observer (Herald): 4th November, P- 2). නෞකාව නොවැම්බර් මස 8 වන දින තස්මේනියාවේ Hobart  වෙතත්, 23 වන දින King George’s Sound වරාය වෙතත් පැමිණීමට නියමිතව තිබිණ (Otago Daily Times: 1871 December. 05, p.3).

රැන්ගුන් නෞකාව ගිලී යන මොහොත චිත‍්‍ර ශිල්පියෙකු සිතුවම් කළ ආකාරය (Galle Harbour Mariutinme Archaeological Impact Assessment Report for Sri Lankan department of Archaeology, 2007, p. 14)

ගාල්ල වරායට ආසන්න මුහුදේ තිබූ ගල් පර කිහිපයක් ඇත. කදීර් (Kadir) නමින් හඳුන්වන්නේ මෙයින් එක් ගල් පරයකි. නිරිත දිග මෝසම් කාලයේ වරායට ඇතුළු වීමට උත්සාහ කරන ලද බොහෝ නැව් මෙම ගල් පරවල හැපීම නිසා විනාශව තිබේ. රැන්ගුන් නෞකාව විනාශ වූයේ ද කදීර් ගල් පරයේ වැදීමෙනි (http://www.poheritage.com/Content/ Mimsy/Media/ factsheet/94361 RANGOON-1863pdf.pdf). යාත‍්‍රාව අනතුරට පත්වූයේ සවස 6.30ට පමණ ය. නැව වරායෙන් නිරිත දෙසට හැරවීමේ දී බටහිර දිශාව නිවැරදිව දෘෂ්‍ය නොවීම හේතුවෙන් ගල් පරයේ වැදිණ. නෞකාව ක‍්‍රියා විරහිත කර නැවත වරක් ක‍්‍රියාත්මක කරන ලද අතර එම ගල් පරයේම නැව නැවත වරක් තදින් ගැටී ඇත. අදුරේ ගල් පරය නිවැරදිව දෘෂ්‍යමාන නොවීම මෙන්ම ප‍්‍රධාන නාවුකයා ගාල්ල වරාය පිළිබඳ ව නිවැරදි අවබෝධයකින් නොසිටීම අනතුරට හේතු විය (The Sydney Morning (Herald):Tuesday 26 December 1871, p.6). ගාලු වරායට සැතපුම් දෙකක් පමණ දුරින් අනතුර සිදු විය. අසල තිබූ Berehice සහ Sydenham නෞකාවන්ගේ කාර්ය මණ්ඩල වහාම රැන්ගූන් නෞකාවට උපකාර පිණිස පැමිණියහ. එ සේ ම තවත් යාත‍්‍රාවක් ආධාර ඉල්ලීම පිණිස වරායට පිටත් කරන ලද බව සඳහන් වේ.

R.M.S Rangoon නෞකාවේ Side Scan Sonar ඡායාරූපයක් (Galle Harbour Maritime Archaeological Impact Assessment Report for Sri Lankan department of Archaeology, 2007, p. 13)

සිද්ධිය පිළිබඳ තොරතුරු තව දුරටත් ගෙන හැර දක්වන්නේ නම්, අනතුරින් පසු ක‍්‍රමයෙන් තත්වය බරපතල අතට හැරුණි. නෞකාවේ එන්ජින්වලට ගිනි ඇවිලීම එයට හේතුවයි. ඉන් පසු නෞකාව බේරා ගැනීම සඳහා තවත් ගත හැකි ක‍්‍රියා මාර්ගයක් වූයේ නෞකාවේ නැංගූරම මුදා හැරීමයි. බඹ 15ක් ගැඹුරට නැංගූරම මුදා හැරිය ද එම අවස්ථාවද ව්‍යර්ත වූයේ ඉතා ප‍්‍රබල දිය වැලකට නෞකාවට මුහුණ දීමට සිදු වීමයි. ඉහත කී නෞකා ද්විත්වය එම තත්වයට සාර්ථකව මුහුණ දුන්න ද දියවැලට ප‍්‍රති විරුද්ධ දිශාවට සුළං හමමින් පැවති හෙයින් ඊට

නෞකා ආශ‍්‍රය කොට ජීවත්වන මත්ස්‍ය ප‍්‍රජාව

මුහුණ දීමට රැන්ගූන් නෞකාවට නුපුළුවන් විය. නෞකාව විනාශ වීම වැලැක්වීම අසීරු බව වටහා ගත් පසු නෞකාවේ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාවත් තැපැල් මලුවල ආරක්ෂාවත් හා ගමන් මලුවල ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය. වටිනා ගමන් මලුවලින් කිහිපයක් ම අහිමිව තිබූ අතර මෙ රටින් ඕස්ටේ‍්‍රලියාව වෙත යැවීමට තිබූ තැපැල් ද්‍රව්‍යය ද විය. චීනයට යැවීමට තිබූ තැපැල් ද්‍රව්‍යය හා සාමාන්‍ය වටිනාකම් ඇති නැව් බඩු කිහිපයක් ද ඒ අතර විය. මේ අතර තුර කාලයේ වරායට පිටත් කර හරින ලද S.S. Baroda නෞකාව විසින් වරාය අධිකාරීය දැනුවත් කිරීමෙන් අනතුරුව පී.ඇන්.ඕ සමාගමේ වෙළඳ නැව් ප‍්‍රධානී හා මෙරට නියෝජිතයින් නෞකාව අසලට පැමිණ තිබේ. රාත‍්‍රිය වන විට සුළං හා මුහුදේ ස්වභාවය සාමාන්‍ය තත්වයකට පත්වුව ද රාත‍්‍රී 10 පමණ වන විට නැව් තට්ටුව හරහා ජලය කාන්දුවීම වේගවත්ව පැවති හෙයින් එහි බර නෞකාවට දරාගත නොහැකි මට්ටමකට පත්ව තිබිණ. මේ වන තෙක් නෞකාවේ කපිතාන්වරයා, නිළධාරීන් හා කාර්ය මණ්ඩලය නෞකාවේ බෝට්ටුවලට නැගීමට සෘජු තීරණයක් ගෙන නොතිබුනේ නැව අතහරිනවා ද බේරාගැනීමට උත්සාහ කරනවා ද යන්න පිළිබඳව අවසන් තීරණයකට නොපැමිණ තිබුණු හෙයිණි. කුඩා දුම් යාත‍්‍රාවක් වූ Arrow සහ Hercules යත‍්‍රා මේ වන විට එම ස්ථානයට පැමිණියේ රැන්ගූන් නෞකාවේ නැංගූරම් දම්වැල කපා එය ඇදගෙන යාමට ය. ඒ වන විටත් ප‍්‍රමාදව තිබිණ. රාති‍්‍ර 12.30 පමණ වන විට බේරා ගැනීමට දැරූ සියලු උත්සහයන් ව්‍යර්ථ කරමින් නෞකාව දිය තුළ නොපෙනී ගියහ (The Mercury (Hobart): Tuesday 28 November 1871,p.3).

මෙරට දේශීය ජනයා ඔරුවල නැගී මෙම නැව ගිලීයනු නැරඹීම සඳහා පැමිණි බව පුවත්පත් වාර්තා හී සඳහන්ය. ඔවුන් අවධානම පසෙක ලා නැව ආසන්නයටම පැමිණ තිබේ. ඒ බව යාත‍්‍රාව ගිලීයන අවස්ථාව චිත‍්‍රනය කළ සිතුවම්හි ද පැහැදිළිව දැක ගත හැකි ය. එ සේ ම වෙරළාසන්න ප‍්‍රදේශයට ද විශාල ජනකායක් රැස්ව සිටි බව සඳහන්ය. නෞකාව බඹ 15ක් තරම් ගැඹුරේ ගිලී ගිය පසු නෞකාවේ කුඹ ගස් ද්විත්වයක් ජලය මතුපිට සිට අඩි 20ක් 15ක් තරම් ගැඹුරින් දැක ගත හැකි විය. නෞකාවේ තට්ටුවේ කොටස්, පීප්ප, කුඹ ගසට සම්බන්ධ සුන්බුන් කොටස් ද දිය මතු පිටට පාවෙමින් තිබිණ (The South Australian (Adelaide): Monday 27 November 1871, p.2, 3). මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවුන අතර නෞකාවේ නියමුවා ප‍්‍රසිද්ධියේ ම අනතුර පිළිබඳව සමස්ත වරද පිළගනු ලැබී ය. බේරාගනු ලැබූ තැපැල් ද්‍රව්‍ය බිහාර් (Behar) නෞකාව මගින් අවශ්‍ය ස්ථාන වෙත යොමුකරනු ලැබී ය. (http://www.poheritage.com/Content/ Mimsy/Media/ factsheet/94361 RANGOON-1863pdf.pdf).

නෞකාවේ වර්තමාන තත්වය

රැන්ගුන් නෞකාවේ සීනුව

ගිලී ගිය එස්.එස්. රැන්ගුන් නෞකාව වර්තමානය වන විට දෙස්විදෙස් සංචාරකයන්ගේ ප‍්‍රධාන කිමිදුම් ස්ථානයක් බවට පත්ව ඇත. නෞකාව අවට නිර්මාණය වී ඇති පරිසරයත් ඒ ආශ‍්‍රය කොට ගනිමින් ජීවත්වන මත්ස්‍ය ප‍්‍රජාවත් එයට හේතුව තිබේ. ප‍්‍රදේශයේ කිමිදුම්කරුවන් අතර වර්තමාණයේ ජනප‍්‍රියව පවතින්නේ රැන්ගුන් (Rangoon) යන නමට වඩා අඩි සියයේ නැව ලෙසිනි. ඒ නැවේ ගැඹුර නිසාවෙනි. නෞකාවේ බොහෝ කොටස් වැලිවලින් වැසී ගොසිණි. අවර පෙත්ත (Popelor), අවර දණ්ඩ (popelor Shaft), වාෂ්ප ටැංකි (Boilor) කුඹ ගස් (Mast) ඉතිරිව පවතින සාධක අතර දක්නට ඇත. එ සේ ම නෞකාවේ බොහෝ කොටස් විනාශයට ගොස් තිබේ. එයට ප‍්‍රධාන හේතුවක් ලෙසින් සඳහන් කළ හැක්කේ ඩයිනමයිට් යොදාගෙන මසුන් මැරීමයි. නෞකාවේ සිටින මසුන් මැරීමට සිදුකළ පිපිරීම හේතුවෙන් මෙහි කොටස් කැඞී තැන තැන විසිරී ඇත.

ගිලීගිය නෞකාවේ තිබූ බොහෝ භාණ්ඩ පසුගිය දශක කිහිපය තුළ ප‍්‍රදේශීය කිමිදුම්කරුවන් විසින් අත්පත් කර ගෙන ඇත. අප ප‍්‍රාදේශීය කිමිදුම්කරුවන් සතු පුරාවස්තු පරීක්‍ෂා කිරීමේ දී රැන්ගුන් නෞකාවෙන් ගොඩගත් පුරාවස්තු සොයාගැනීමට හැකි විය. රැන්ගුන් නම සඳහන් කරන ලද නෞකාවේ සීනුව (Bell) මේ අතර ප‍්‍රධාන වේ. හික්කඩුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ කිමිදුම් මධ්‍යස්ථානයක් සතුව මෙම සීනුව පවතී. එහි RANGOON 1863 ලෙස සඳහන් කර ඇත. බොහෝදුරට පැරණි නෞකාවක් හඳුනාගැනීමට ඇති ප‍්‍රධානම සාධකය වන්නේ නෞකාවේ සීනුවයි. එහි නෞකාවේ නම හා නිෂ්පාදිත වර්ෂය සඳහන් කර ඇත. එ සේ ම නෞකාවෙන් ගොඩගන්නා ලදැයි සැළකෙන විවිධ හැඩයේ වීදුරු බෝතල් හා පෝසිලේන් භාණ්ඩ ඔවුන් සතුව පවතී. මේ සියල්ල ගාල්ල කොටුව ආසන්නයේ වන අඩි සියයේ නැවෙන් ගොඩගන්නා ලද භාණ්ඩ බව ඔවුන් සනාථ කරන ලදී. රැන්ගුන් නෞකාව සම්බන්ධ පර්යේෂණ කටයුතු ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් මේ වන විට සිදුකරමින් පවතී. ඡායාරූප, වීඩියෝ සහ සැළසුම් යන ත‍්‍රිත්ව මාධ්‍යයෙන් නෞකාව වාර්තාගත කිරීමට කටයුතු කරන ලදී. ප‍්‍රාදේශීය කිමිදුම්කරුවන් සතුව පවතින රැන්ගුන් නෞකාවෙන් ගත් පුරාවස්තු වාර්තාගත කිරීම ද ඒ අතර ප‍්‍රධාන වේ.

ගිලීගිය නෞකාවේ වර්තමාණ තත්වය

නිගමනය

අඩි සියය නමින් වර්තමාණයේ හඳුන්වන නෞකාව නිෂ්චිතවම රැන්ගුන් ලෙසින් පැවසිය හැකි ප‍්‍රධාන ම සාක්‍ෂිය වන්නේ එයින් හමූ වූවා යැයි සැළකෙන සීනුවයි. එහි පැහැදිළිව ම රැන්ගුන් ලෙසින් සටහන්ව තිබිණ. අප විසින් නෞකාවේ දිග මිනුම්ගත කරන ලද අතර එහි දිග හා නෞකාව නිර්මාණයේ දී සදහන් වන දිග ආසන්න වශයෙන් සමාන විය. ඩයිනමයිට් යොදාගෙන මසුන් මැරීම නිසා ලංකාව වටා බොහෝ නෞකාවල දැකිය හැකි විනාශය මෙහි ද දැකිය හැකි වේ. නෞකාව තුළ වර්තමානය වන විට යකඩ සැකිල්ල පමණක් ඉතිරිවන ආකාරයට මතුපිට තිබූ පුරාවස්තු සියල්ල ප‍්‍රදේශීය කිමිදුම්කරුවන් විසින් අත්පත් කරගෙන ඇත. නමුත් අනාගතයේ මෙම පුරාක්‍ෂේත‍්‍රයට අදාලව සිදු කරන පර්යේෂණයන් ඔස්සේ එම ස්ථානයෙන් හා එහි තිබී සොයාගත් පුරාවස්තූන් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත. ලංකාව අවට සමුද්‍ර තීරයේ පවතින දියයට පුරාවිද්‍යා ස්ථාන අතර දියයට සංචාරක කර්මාන්තයට යොදාගත හැකි ප‍්‍රධාන ස්ථානයක් ලෙසින් ප‍්‍රවර්ධනය කිරීමේ හැකියාව ද පවතී. පුරාක්‍ෂේත‍්‍රයේ ආරක්‍ෂාව, ශාක හා ජීවි ප‍්‍රජාව ගේ සුරක්‍ෂිතභාවය උදෙසා මේ පිළිබඳ ව කටයුතු කරන ආයතන සියල්ල නුදුරේ දීම සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශයව පවතී.

ආශ‍්‍රිත මූලාශ්‍ර

  • කුමාර, ප‍්‍රියන්දන, හේවගේ ඇතුළු පිරිස (2011), දළනිදු, වෙළුම 3, කාණ්ඩය 3, ජූලි , ගාල්ල පැරණි වරාය සහ ඒ ආශි‍්‍රත ඉදිකිරීම් පිළිබඳ පුරාවිද්‍යාත්මක ගවේෂණයක්, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.
  • දොඩම්වල, ගාමිණී (2012), ගාල්ල කොටුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • Anderson, Green and Souter 2007: Galle Harbour Mariutinme Archaeological Impact Assessment Report for Sri Lankan department of Archaeology, Department of Maritime Archaeology, Western Australian Museum
  • Daily Times (Otago): THE LOSS OF THE RANGOON, 1871 December 05,p- 3
  • The Brisbane Courier (Qld): THE LOSS OF S.S RANGOON, Wednesday 3 January 1872, p- 3
  • The Ceylon Observer (Herald): THE LOSS OF THE RANGOON, 4th November, P- 2
  • The Mercury (Hobart): WRECK OF THE R.M.S. RANGOON AT GALLE MAILS LOST, Tuesday 28 November 1871, p- 3
  • The Mercury (Hobart), TOTAL LOSS OF .R.M.S. KANGOON OFF GALLE HARBOUR, Saturday 2 December 1871, p-3
  • The South Australian (Adelaide): THE TOTAL WRECK OF THE P. AND O. SS RANGOON, Monday 27 November 1871, p- 2, 3
  • The Sydney Morning (Herald), THE LOSS OF THE S.S RANGOON, Tuesday 26 December 1871, p- 6
  • http://www.lankasinhala.com/2public/vishwakoshaya /doku.php?id=history: ceylon_post&
  • https://muddara.wordpress.com
  • https://www.pocruises.com.au/about /history
  • http://www.poheritage.com/Content/Mimsy/ Media/factsheet/ 94361RANGOON-1863pdf.pdf
  • https://en.wikipedia.org/wiki/History_of_the_steam_engine
  • https://en.wikipedia.org/wiki/Royal_Mail_Ship
  • https://en.wikipedia.org/wiki/Steamship

ප්‍රකාශිත දිනය : 2017.1.15

කරුණාකර පහත දැක්වෙන ආකාරයෙන් මෙම ලිපියේ පරිශිලනය යොදන්න.
ප‍්‍රියන්දන, ඩබ්ලියු.එච්.ආර්. හා අයි.යූ. හේවගේ, ගාලූ වරායේ ගිලී ගිය තැපැල් නෞකාව ආර්. එම්. එස්. රැන්ගුන් (R.M.S. Rangoon), http://www.archaeology.lk/sinhala/?p=1399&preview=true ( පිවිසුම් දිනය දක්වන්න.)

පුරාණ වාස්තු ශ‍්‍රාස්ත‍්‍රයේ කොරවක්ගල් භාවිතය හා විකාශනය පිළිබඳ විමර්ශනයක්: අභයගිරි පුරාවිද්‍යා පරිශ‍්‍රය ඇසුරින්

ඞී.එම්. නිෙරා්ෂා උදයංගනී

පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය.

dm.niroshaudayangani@gmail.com

nirosha-udayangani-central-cultural-fund-abhayagiriya-anuradhapura
නිෙරා්ෂා උදයංගනි

පුරාණ ශී‍්‍ර ලාංකීක වාස්තු විද්‍යාවේ කොරවක්ගලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තිරස් අතට පිහිට වූ සමතල පෘෂ්ටයකින් නිර්මිත නිර්මාණය ගොඩනැඟිල්ලක පියගැටපෙළ දෙපසින් දර්ශනය වේ. ගොඩනැඟිල්ලකක අධිෂ්ඨානය (Stylobate) උස් වූ හෙයින් ගොඩනැගිල්ල ට ප‍්‍රවිශ්ට වීමට සෝපානය සුලභ දසුනක් විය. ආරාමික ගොඩනැඟිලි විචිත‍්‍ර අයුරින් අලංකෘත වූත් දර්ශනීය වූත් නිර්මාණ වේ. පුරාණ වාස්තු විද්‍යාත්මක අංග ලෙසින් හඳුනාගත හැකි ගොඩනැඟිලි පූජනීය, අර්ධ පූජනීය හා රාජකීය වශයෙන් ප‍්‍රභේද කර දැක්විය හැකි ය. නිර්මාණ කරුවාගේ අපිරිමිත නිර්මාණ කෞශල්‍ය විදහා දක්වන අභයගිරි ස්ථූපය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟුණු ආරාමයන්හි වාස්තු විද්‍යාත්මක අංගයක් ලෙසින් කොරවක්ගල හඳුනාගත හැකි ය.

බුද්ධ කාලයේත්, ඊට සියවස් කිහිපයකට පසුත්, ඉන්දියාවේ තිබු උසස් පන්තියේ නිවාසයන්හි පියගැට පේළිවල අත්වැල් (කොරවක්ගල්) ගරාදිවැට වලින් සැදුණු බව පෙනේ. මහ සුදස්සන සූත‍්‍රයෙහි චක‍්‍රවර්ති රජකුගේ මාලිගයක් වර්ණනා කැරෙන කන්හි පියගැට පේළි සම්බන්ධව ස්තම්භ, සූචි සහ උණ්හීස යන දෑ සඳහන් කෙරේ. මේවා ගරාදි වැටක අවශ්‍ය අංගයෝ වෙති. සාඤ්චි සහ භරුත් ගරාදිවැටවලට අයත් විවිධ කොටස්වල කොටා තිබු සෙල්ලිපිවල ද ඒවා නම් කර තිබේ. සාඤ්චි ස්තූපයෙහි මාළකයට නඟින පඩි පෙළ දෙපස වූ අත්වැල් (කොරවක්ගල්) ගරාදිවැටවලින් සෑදිණ. ලක්දිව පැරැණි ම කොරවක්ගවල ස්වරූපය කුමක්දැයි අප දත නොහැකි ය (පරණවිතාන 1963: 3).

සාමාන්‍යයෙන් ප‍්‍රතිමා ගෘහයෙක අධිෂ්ඨානය පොළෝ මට්ටමින් අඩි 4 සිට 6 දක්වා උස් විය. වහළ හෝ ප‍්‍රස්තරය දරා සිටි කුලූණු ස්ථාපනය කරන ලද්දේ මෙම අධිෂ්ටානය මත ය. ගර්භගෘහය ගොඩනංවන ලද්දේ ද අධිෂ්ඨානය හරි මැද ය. මේ නිසා අධිෂ්ඨානය මතට නැගීම පිණිස පියගැට පෙළක් හෙවත් සෝපානයක් අත්‍යවශ්‍ය විය. මුල් ම යුගයේ මෙම පියගැට පෙළ සෑදීම සඳහා භාවිත කරන ලද්දේ දැව බවට සැකයෙක් නැත. ශී‍්‍ර ලංකාවේ ගොඩනැඟිලි ඉදි කිරිම පිණිස ගල් භාවිතයට ආයේ කි‍්‍රස්තු වර්ෂ පස් වැනි සිය වසට පමණ පසු වූ බව විදුවතුන් ගේ මතය යි. ඉදින් පියගැට සඳහා යොදා ගන්නා ලද දැව පුවරු සවිමත් ලෙස රඳවා තැබීම සඳහාත් නගින්නන් ගේ ආරක්ෂාව පිණිසත් සෝපාන පඣ්ක්තිය දෙපසින් සිටුවන ලද කොරවක්ගල් ද ලීයෙන් නිමැවුණේ විය. මෙම අංගය මංජුශී‍්‍ර වාස්තුවිද්‍යාශාස්ත‍්‍රයේ හැඳින්වෙන්නේ “අශ්වපාද” යන නමිනි. මුල්ම කොරවක්ගල අශ්ව පාදයෙක (ඌර්ධව කොටසේ) හැඩය ගල් නිසා මෙම අන්වර්ථ නාමය ඊට ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය (මාරසිංහ 1994:18).

මුල් කාලීන කොරවක් ගල් සඳහා සොයාගත හැකි පැරැණි ම සාධක වනුයේ ගඩොලින් කරන ලද අත් වැටවල් වෙයි. ගඩොලින් සහ ගලින් කරන ලද කොරවක් බැමි වර්ග දෙකක් පිළිබඳ ව පැරණි ම සාධක සොයාගෙන ඇත. තිරියාය සහ රාජාංගනයේ වටදාගෙය යන ස්ථානවල දැක්වෙනුයේ පඩිපෙළට සමාන්තරව යන මුදුන කවාකාර හැඩයක් ගනි. අනෙක් ආකෘතිය නම් බදාමයෙන් හා වාත්තු කිරිමෙන් හැඩ ගන්වන ලද කවාකාර බැමි හෝ උඩු අතට කරකැවි ගිය වක් බැම්මයි. සීගිරිය, කතරගම, කිරිවෙහෙර, වෙස්සගිරිය වැනි ස්ථානවලින් 5-7 සියවස් වලට පමණ අයත් සාධක හමු වේ (බණ්ඩාරනායක 1974:331).

මුල දී පූජනීය ගොඩනැඟිලිවල දොරටුවල පඩිපෙළ දෙපස ගඩොලින් කරන ලද කොරවක් බැමි තිබුණු බවට සාධකයක් දඹුල්ලේ සෝමාවති චෛත්‍යයේ කැනීම් වලින් මතු කරගෙන සංරක්ෂණය කර ඇත. එම කොරවක් බැම්ම මුල් තත්වයෙන් තවමත් ආරක්ෂා වී තිබේ. මේ බැම්ම නැමීම් හා වක ගැසීම් මඟින් හැඩගන්වා තිබේ. මුල දී එහි බදාම ගා තිබුණා දැයි අපි නොදනිමු. දැනට තිබෙන අන්දමට මේවායේ මකර මකර රූප හෝ යටත් පිරිසෙයින් ලියවැල් මෝස්තර පවා නැත. යොදාගෙන ඇති ගඩොල් ඒ ඒ තැනට උචිත අන්දමට හැඩගන්වා පිළියෙළ කරන ලද අච්චුවලින් තනා පුළුස්සාගෙන තිබේ. ඒවා ඉතා ම ශක්තිමත් නිසා අද වන තුරුත් ආරක්ෂා වී තිබේ. කුස්තුර සඳහා යොදා ගෙන ඇත්තේ සියුම් මැටි බදාම විශේෂයකි (වික‍්‍රමගමගේ 1995:29).

ශී‍්‍ර ලාංකික ආරාමික ගොඩනැඟිලි විචිත‍්‍ර අයුරින් අලංකෘත වූත් දර්ශනීය වූත් නිර්මාණ වේ. අභයගිරි පරිශ‍්‍රයේ ද ස්ථූපය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු ආරාමයන්හි වාස්තු විද්‍යාත්මක අංගයන් ලෙසින් කොරවක්ගල හඳුනාගත හැකි ය. ගොඩනැඟිලි වලට ප‍්‍රවිශ්ට වන දොරටුව හෙවත් සෝපානය දෙපසින් අත්වැට වූ කොරවක්ගල අතීත කලාකරුවාගේ අර්ථවත් කැටයම් කලාවේ උපරිභාගය විය. පුරාණ ගොඩනැඟිලි බොහෝමයක අධිෂ්ඨානය උස් වූ නිසාවෙන් පඩිපෙළ නඟින්නන්ගේ පහසු ව උදෙසා නිර්මාණය වූ කොරවක්ගල සරල ජ්‍යාමිතික ලීස්තර නිර්මාණයක් ලෙසින් මුලපුරා මකර රුව වැනි විශ්මිත කැටයම් අලංකරණ දක්වා විකාශනය වූ බව පැහැදිලි ය. කාලයත් සමඟ කලාකෘතින් විවිධ අදහස් කැටිකර ගනිමින් අර්ථය තිව‍්‍ර කිරිමට කලාකරුවා උත්සහයෙක යෙදි ඇති බවට අනුමාන කළ හැකි ය. මුල් අවධියේ කැටයම් අලංකරණ රහිත වූ කොරවක්ගල පසු කාලීන ව ලීස්තර තීරුව කොරවක්ගලෙහි සරල ම අවධිය ලෙසින් හඳුනාගත හැකි ය. ඍජුකෝණ‍්‍රාසාකාර තීරුව ඍජු රේඛා ලියවැල් සිට විවිධ කැටයම් දක්වා වූ නිර්මාණ කොරවක්ගලෙහි විකාශනයේ ප‍්‍රතිඵලයක් ලෙසින් හඳුනාගත හැකි ය. කාලයාගේ උවමනාවින් කොරවක්ගල සඳහා විවිධ කලාංග නිර්මාණ හා කැටයම් භාවිත කිරිම පිළිබඳ විවිධ අදහස් පවති. පුරාණ කලා නිර්මාණ සඳහා සත්ත්ව රුව කැටයම් අලංකරණ සඳහා යොදා ගැනීම සුලභ දසුනක් විය. විවිධ අදහස් කැටිකර ගනිමින් සංකේතාත්මක අර්ථයන් නිරූපණය කරමින් සත්ත්ව රුව යොදාගෙන ඇත.

කොරවක්ගල පිළිබඳ අධ්‍යයනය කිරිමේ දි පැහැදිලි වන්නේ අත්වැටක් ලෙසින් මුල් කාලීන ව කොරවක්ගල නිර්මාණය වුව ද පසු කාලීන ව මුරගල කොරවක්ගල යන අංගයන් හි එකතුවකින් යම් අදහසක් නිරූපිත බව ය. කලාකරුවාගේ නිර්මාණ චාතුර්යය වර්ධනය වීමත් සමඟ කලාකෘතියෙහි ද වර්ධනයක් හඳුනා ගත හැකි ය. බෞද්ධ ආරාමික නිර්මාණ ශිල්පියාගේ කලාකෘතීන් තුළ කලාකරුවාගේ කෞශල්‍ය මෙන් ම බෞද්ධාමික මතිමතාන්තර මොනවට කියාපාන නිර්මාණයක් හඳුනාගත හැකි ය.

පුරාණ ශී‍්‍ර ලංකාවේ කොරවක්ගල නිර්මාණය සඳහා දැනට පවතින සාධක අනුව අමුද්‍රව්‍ය ලෙසින් ගඩොළු, ගල් හා හුණුගල් භාවිත කර ඇති

koravakgal-abhayagiriya-anuradhapura-sri-lanka-nirosha-udayandani-archaeology-lk
ඡායාඵලක අංක 1 (වෙම්) හා ඡායාඵලක අංක 2 (දකුෙණ්)

බවට හඳුනාගත හැකි ය. අභයගිරි පරිශ‍්‍රය තුළ ගඩොල් භාවිතය පිළිබඳ සාධක නොමැති වූව ද කඵගල් සහ හුණුගල් භාවිතය පිළිබඳ සාධක හමු වේ. හුණුගල් භාවිතය දුලභ වූව ද අභයගිරිය අංක 3 ගොඩනැඟිල්ලෙහි කොරවක්ගල සඳහා හුණුගල භාවිත කර කොරවක්ගල නිර්මාණය කර ඇති ආකාරය හඳුනාගත හැකි ය (ඡායාඵලක අංක 1). අධිෂ්ඨානය උස් වූ වුවද කොටස් වශයෙන් කොරවක්ගල නිර්මාණය කර ඇත. අභයගිරි කප්පුරමූල කුට්ටම්පොකුණට බැසීම සඳහා නිර්මාණය කර ඇති පියගැටපෙළ දෙපස කොටස් වශයෙන් නිර්මාණය කර යොදාගෙන ඇත (ඡායාඵලක අංක 2). අභයගිරි ධාරණි ගෘහය සඳහා ද උස් වූ පිටගැට පෙළක් හඳුනාගත හැකි අතර කොරවක්ගල වර්තමානයේ හඳුනාගත නොහැකි වූව ද ඇතම් විට මුල් කාලීන ව ගඩොලින් නිර්මාණය කර තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

පියගැටපෙළක් නිර්මාණයේ මූලික අභිලාශය වනුයේ ඉහළ බිම්කඩකට නැගීමට හෝ ඉහළ සිට පහළට එ නම් පොකුණු වලට බැසීමට ඇති අවස්ථාවක දී ය. අධිෂ්ඨානයේ උස ප‍්‍රමාණය අනුව පියගැටපෙළෙහි උස තීරණය වේ. ඒ අනුව කොරවක් ගලෙහි උස හා දිග ප‍්‍රමාණය ද තිරණය වේ.

කොරවක් ගලෙහි විකාශනය පිළිබඳ අවධානය යොමු කිරීෙම් දි ප‍්‍රධාන අවස්ථා හතරක් හඳුනාගත හැකි ය.

පළමු පියවර

ගඩොළු කොරවක් බැම්මක් මැදිරිගිරිය වටදාගෙයි ස්තූපයේ පැරණි අවධිය හා සම්බන්ධ ව තිබේ. පඩිපෙළ නගින කෙනෙකුට අත්වැල ලෙස අල්ලා ගැනීමට ඒවා උස නැත. එම නිසා මීට පළමු යුගයේ පූජනීය ගොඩනැඟිලි වලට පිවිසෙන දොරටුවල ලීයෙන් කළ අත්වැල් වූ බවක් සිතීමට ඉඩක් නැත. ගොඩනැඟිලි තැනීමට ගඩොළු භාවිතය බුදුදහම ශී‍්‍ර ලංකාවට හඳුන්වා දුන් මුල් අවධියේ ම පැවතිණ. එම නිසා ගඩොලින් කළ කොරවක් බැමි මුල්ම වර්ගයට අයත් ලෙස ගල හැකි ය. පඩි පේළිය නොවිසිරි තබා ගැනීමට ආධාරක බැම්මක් ලෙස මෙය මුළින් යොදාගල් බව පෙනේ. එය දොරටුවට අලංකාරයක් ගෙන දෙන්නක් වශයෙන් හැඩ ගන්වා තැනීම ද අවශ්‍ය ලෙස පිළිගෙන තිබේ. ගොඩනැඟිලි සඳහා ගල් භාවිතය මීළඟ යුගයේ කැපී පෙනෙන ලක්ෂණය යි. මුලින් ගඩොල් යොදා තිබු කොරවක් බැමිවලට මූලික වශයෙන් සමාන ව කොරවක්ගල් තනා තිබේ. කොරවක්ගලට ද මුළින් මකර රූප හෝ ලියවැල් නොවී ය. සරල ලෙස පඩිපෙළේ හැඩය අනුව නැමි හා වක සහිත සමහර විට තනි ගලෙන් ඒවා තනා තිබේ.

දෙවැනි පියවර

ජ්‍යාමිතික රේඛා යොදා ඉහත කී කොරවක් ගල් තැනීම ඊළඟ පියවරේ දී සිදු වූ බව පෙනේ. මේවා අනුරාධපුර පැරණි නටඹුන් විහාරවල සුලභ ව දක්නට ලැබේ. මේ අවධියේ ගඩොළු වෙනුවට ගල් භාවිත කරන ලදි.

තෙවැනි පියවර

ඊළඟ අවස්ථාවේ දී කොරවක්ගලට ලියවැල එක් වී තිබේ. ලියවැලක ළපටි කොටස මේ සඳහා යොදා ගෙන තිබේ. ළපටි ලියවැලට දලූ සහිත පුරුක් ද එක් කර තිබේ.

සිව් වැනි පියවර

ලියවැල මුළට මකර කට එක් වූයේ සිව් වැනි පියවරේ දී ය. එහි දී ලියවැල මකරාගේ දිව ලෙස බැලූ බැල්මට පෙනේ. එහෙත් ලියවැල සුන්දර වස්තුවකි. එය මකර කටෙන් විහිදීයන ආකාරයට දැක්වීමෙන් අදහස් කරන්නට ඇත්තේ සුන්දර වස්තු වුවද විනාශය ජන්ම කොට ගෙන ඇති බව යි (වික‍්‍රමගමගේ 1995: 30).

අභයගිරි සංකීර්ණය තුළ ඇති කොරවක්ගල් වර්ග හා විකාශනය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දි ප‍්‍රධාන වශයෙන් හමුවන කොරවක්ගල් නිර්මාණ අවධි කිහිපයක් යටතේ හඳුනාගත හැකි ය.

  1. ආයත චතුරශ‍්‍රාකාර හෙවත් ඍජු රේඛා සහිත කොරවක්ගල්
  2. ආයත චතුරශ‍්‍රාකාර සරල උඩු අතට කරකැවුණු හැඩය සහිත කොරවක්ගල්
  3. ලියකම් සහිත නැමුණු හැඩය සහිත කොරවක්ගල්
  4. මකර කැටයම සහිත කොරවක්ගල් යනුවෙනිි.

ආයත චතුරශ‍්‍රාකාර හෙවත් ඍජු රේඛා සහිත කොරවක්ගල්

3-koravakgal-abhayagiriya-anuradhapura-sri-lanka-nirosha-udayandani-archaeology-lk
ඡායාඵලක අංක 3

මුල් අවධියේ ගොඩනැඟිලි සඳහා නිර්මාණය කරන ලද ආයත චතුරශ‍්‍රාකාර ඍජු රේඛා සහිත කොරවක්ගල් හඳුනාගත හැකි ය. අභයගිරි පුරාවිද්‍යා පරිශ‍්‍රයේ වැඩබිම් 31 කොටසෙහි ධාරණි ගෘහය සහිත කොටසෙහි කුඩා ආවාස ගොඩනැඟිලි වල මෙම වර්ගයේ කොරවක්ගල් දැකගත හැකි ය. චතුරශ‍්‍රාකාර පුවරුව ඍජු ව නිර්මාණය කර ඇති අතර අලංකරණ කිසිවක් දැකගත නොහැක. මෙහි විකාශනමය අවස්ථාවක් ලෙසින් චතුරශ‍්‍රාකාර පුවරුවට ඍජු රේඛා එකතු වීම හඳුනාගත හැකි ය. මේ අයුරින් ක‍්‍රමයෙන් ජ්‍යාමිතික රේඛාවන් ගෙන් සියුම් ආකාරයෙන් අලංකෘත වීමක් ප‍්‍රථම විකාශන අවස්ථාවක ලෙසින් පැහැදිලි ය. විශේෂයෙන් ම පැහැදිලි වන කරුණ වනුයේ මුල් අවධියේ විශාල ප‍්‍රමාණයේ මෙම කොරවක්ගල් දැක ගැනීමේ හැකියාවක් නොමැති වන අතර කුඩා ප‍්‍රමාණයේ ආවාස ගොඩනැඟිලි සඳහා යොදා තිබීම ය. මුල් අවධියේ පිටගැටපෙළෙහි අත් වැටක් ලෙසින් පමණක් භාවිත කරන්නට ඇති අතර අලංකරණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර නොමැත (ඡායාඵලක අංක 3).

.

ආයත චතුරශ‍්‍රාකාර සරල උඩු අතට කරකැවුණු හැඩය සහිත කොරවක්ගල්

4-koravakgal-abhayagiriya-anuradhapura-sri-lanka-nirosha-udayandani-archaeology-lk
ඡායාඵලක අංක 4

චතුරශ‍්‍රාකාර පුවරු නිර්මාණයෙන් අනතුරුව අලංකරණ එකතු වීම මෙම අවධියේ සිදු විය. කලාකරුවාගේ නිර්මාණශීලිත්වයට අදහස් එකතු වීමෙන් ක‍්‍රමයෙන් වර්ධනයක් හඳුනාගත හැකි ය. ජ්‍යාමිතිකව නිර්මාණය කළ පුවරුව අලංකාර අයුරින් කලාත්මක වෙනසකට ලක් කර ඇත. අභයගිරි පරිශ‍්‍රය තුළ මෙම වර්ධනීය විකාශනය මැනවින් හඳුනාගත හැකි ය. මෙම වර්ගයට අයත් කොරවක්ගල් අලංකාර කිරිම පිණිස ඍජුකෝණීය හැඩය වක් වූ උඩ අතට කරකැවි ගිය රටාවක් බවට පරිවර්තනය කර ගන්නා ලදි (ඡායාඵලක අංක 4).

ලියකම් සහිත නැමුණු හැඩය සහිත කොරවක්ගල්

රේඛා මඟින් මුලින් සකස් කරන ලද අතර ක‍්‍රමයෙන් වර්ධනය වන විට උන්නතවත් කිසියම් ලියවැල් රටාවක් ඇතුළු කිරිමටත් පෙළඹිණ. මෙහි දෙයාකාරයක කොරවක් ගල් දක්නට හැකි ය. ලියවැල් රටා සහිත කොරවක්ගල් හැඩයෙන් වක් ව කරකැවි ගිය කොරවක් ගල් රේඛා අනුගමනය කර අලංකාර කිරිමට ගල් ප‍්‍රයන්තයක් දැක්වෙයි. මෙය පසු කාලීන ව දාර හා තීරු වශයෙන් උන්නත ව නෙලා ඇති ආකාරයත් ඒ මත පලා පෙති මෝස්තරය හා වෙනත් ලියකම් රටාවන් යොදාගෙන භාවිතයට ගල් ආකාරයත් දැකි ය හැකි ය. ලියවැල් රටාව පරිසමාප්තියට පත්වන අවස්ථාවේ දි ආරම්භක ස්ථානයට නෙළුම් පත‍්‍ර සහ එයින් ඉදිරියට වෙනත් ලතා කර්ම ඇතුළත් කර ඇත. එ වැනි කොරවක් ගල් බොහෝ විට පොකුණු ආශි‍්‍රත ව දක්නට ඇත.

5-koravakgal-abhayagiriya-anuradhapura-sri-lanka-nirosha-udayandani-archaeology-lk
ඡායාඵලක අංක 5

අභයගිරි පරිශ‍්‍රයේ මෙ වැනි කොරවක්ගල් හඳුනාගත හැකි ආකාර කිහිපයකි. විශේෂයෙන් ම කුඩා ප‍්‍රමාණයේ කොරවක්ගල් මෙන්ම විශාල ප‍්‍රමාණයේ කොරවක්ගල් හඳුනාගත හැකි ය. මුල් අවස්ථාවේ හඳුනාගත් චතුරශ‍්‍රාකාර පුවරුව වෙනුවට රේඛාමය අලංකරණ කරමින් සරල ව උඩු අතට කැරකැවුණු කොරවක්ගල් හඳුනාගත හැකි ය. අභයගිරි ස්ථූපයට දකුණු පසින් සන්නිපාත ශාලාවේ මේ ආකාරයේ කොරවක්ගල් දැකගත හැකි ය. උස ප‍්‍රමාණයෙන් වැඩි වන නිසාවෙන් මෙම කොරවක්ගල කොටස් දෙකකට නිර්මාණය කර එකට එක් කර ඇත.

වක‍්‍රව රේඛා නිර්මාණය කිරිමත් සමඟ ඇරඹි උඩු අතට සරල ව කැරකැවුණු රටාව ක‍්‍රමයෙන් වර්ධනය වීම ඇරඹිණ. රේඛා සහිත ව කැරකැවි පසු ව එයට ලියවැල් රටාව එක් වීම වර්ධනීය විකාශනයක් ලෙස හඳුනාගත හැකි වේ. කුට්ටම්පොකුණ ආශි‍්‍රත ව හඳුනාගත හැකි මෙ වැනි කොරවක්ගල් වර්ධනීය කඩ ඉමකි (ඡායාඵලක අංක 5).

මකර කැටයම සහිත කොරවක්ගල්

ලියවැල මුලට මකර කට එක් වූයේ සිව් වැනි පියවරේ දී ය. එහි දි ලියවැල මකරාගේ දිව ලෙස බැලූ බැල්මට පෙනේ. එහෙත් ලියවැල සුන්දර වස්තුවකි. එය මකර කටෙන් විහි දි යන ආකාරයට දැක්වීමෙන් අදහස් කරන්නට ඇත්තේ සුන්දර වස්තු වුවද විනාශය ජන්ම කොට ගෙන ඇති බව ය. මකරා කාලය සංකේතවත් කරන අතර කාලය විසින් සුන්දර වස්තු කා දමන බව රත්නප‍්‍රාසාදයේ මුරගලේ මකර තොරණින් ද ප‍්‍රකාශ වේ. බොහෝ දුරට කොරවක්ගල් වල මූදු මකරෙක් ද තිබේ. හැම කාලයක ම හා හැම ශිෂ්ටාචාරයක ම වාගේ මකරා පිළිබඳ කථා ජනප‍්‍රිය වී තිබේ. එහෙත් ඒ ඒ සංස්කෘතියට අනුව මකරා අර්ථවත් වෙයි. බෞද්ධ යුගයේත් එවැනි අදහසක් තිබුණා දැයි කිව නොහැකි ය. ආදි බෞද්ධ ති‍්‍රපිටක ග‍්‍රන්ථවල මකරා ගැන සඳහන් වේ. බෞද්ධ ආරාමවල තබා ගල හැකි චිත‍්‍ර විශේෂයක් වශයෙන් මකරදන්තක එහි දැක්වේ (වික‍්‍රමගමගේ 1995: 31).

මුල් අවස්ථාවේ දී දොරටුව සැරසිලිවලින් තොර වීමත් සමඟ කොරවක්ගල ද කැටයමින් අලංකාර විය. කොරවක්ගල අත්වැටක් ලෙස රළු ජ්‍යාමිතික ලීස්තර තීරුවල සිට අංග සම්පූර්ණ මකර රුව සහිත තොරවක්ගල දක්වා විකාශනය වීම සිදු විය. දත් පෙනෙන සේ කට විදහා ගල් මත්ස්‍යයෙකු වැනි සතකු ඉන් අදහස් වන්නට ඇත. කි‍්‍රස්තු පූර්ව 2-1 ශතවර්ෂ කාලයට අයත් භාර්හූත් කැටයම් අතර සැරසිලි මෝස්තරයක් වශයෙන් දත් පෙනෙන සේ විවෘත ව තබා ගල් මුඛය දිග සතකුගේ හිසක් වෙයි. ඉන්දියාන් මකරා මත්ස්‍යයෙකු ප‍්‍රභව කොට ගල් සතකු සේ සැලකීමට හැකි ය. මත්ස්‍යමකරා සහිත කොරවක් ගල්වලින් යුත් දොරටුවක් ජේතවනාරාමයේ ගොඩනැඟිල්ලක වෙයි. එහෙත් එකල ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය වී තිබුණේ මුහුදු මකරා විශේෂයකි. යටත් පිරිසෙයින් මකරුන් වර්ග තුනක් ශී‍්‍ර ලංකාවේ කොරවක්ගල් වල දක්නට ලැබේ. මත්ස්‍ය මකරා හිස මුඳුනේ ගැටයක් සහිත මකරා සහ එවැනි ගැටයක් නැති මකරා ලෙස මෙම මකර රූප හැඳින්විය හැකි ය (මාරසිංහ 1995:31).

බොහෝ කොරවක්ගල් වල මකරා දැකගත හැකි වන්නේ කුළුණක් මත හිදගෙන මුව විවර කොට විශාල දිව ඉදිරියට යොමු කරගෙන සිටින මකරාගේ ශරීරය සහ දිව ලියවැල්වලින් අලංකාර කොට ඇත. මකර රුව කොරවක්ගලට යෙදීමේ දි මුරගල හා කොරවක්ගල යන අංග දෙක වෙනවෙන ම පැහැදිලි කරගත නොහැකි අතර දෙයංශයක සබඳතාවක් පවති ද යන්න අධ්‍යයනය තුළින් මකරා කොරවක් ගලට යෙදීම ගැන අදහසක් ඇති කර ගැනීමට හැකි ය.

පොළොන්නරු යුගයෙන් පසු ශී‍්‍ර ලංකාවේ මකර රුව සතුන් කීප දෙනෙකුගේ සංකලනයකි. අලි හොඬක්, සිංහ පාද, ඌරු කන්, කිඹුල් දත්, වඳුරු ඇස්, මත්ස්‍ය ශරීරය හා ගුරුළු පියාපත්, සහිත වේ. එහෙත් මේ මකරා කොරවක්ගලට පැමිණ නැත. මේ අන්දමට මකරා විස්තර වන්නේ 13 සියවසට පමණ අයත් රූපාවලියේ ය. එම ශ්ලෝකය හා එහි සිංහල පරිවර්තනය පහත දැක්වේ.

ගජේන්ද්‍ර හස්තඃ කෘසිංහපාදඃ
හරාලදන්තඃ හනුමන්තනෙත‍්‍රඃ
වරාහකර්ණඃ හෘදමත්ස්‍යදෙහඃ
විවිත‍්‍රපත‍්‍රඃ මකරස්වභාවඃ

ඇත්සොඬ අත් සිහබා යුගකන් ඌරා
දත් පෙළ කිඹුලූය යුගනෙත් වඳුරා
වෙත් මසු ඇඟ ගුරුළිඳු පිය පතරා
යුක්ත ය මේ හැම රුවයෙන් මකරා (වික‍්‍රමගමගේ 1995:31)

මුරගලින් සශි‍්‍රකත්වය, සෞභාග්‍ය ප‍්‍රකාශ වන්නේ නම් මකරා සහිත කොරවක්ගලින් විනාශය මූර්තිමත් වන බව අනුමාන කළ හැකි ය. අතෘප්තිකර ආශාවන් පසුපස දිව යෑමේ ප‍්‍රතිඵලයක් ලෙසින් එය පැහැදිලි ය. අභයගිරිය පරිශ‍්‍රයේ මකර රුව සහිත කොරවක්ගල් වැඩි වශයෙන් විහිදි පවතිව අතර රත්නප‍්‍රාසාදයේ කොරවක්ගල විශේෂයෙන් හඳුනාගත හැකි වේ (ඡායාඵලක අංක 6).

තනි පුවරුවක මුරගල හා කොරවක්ගල

අභයගිරි පුරාවිද්‍යා පරිශ‍්‍රය තුළින් තනි ගල් පුවරුවක මුරගල හා කොරවක්ගල නිර්මාණය කර ඇති ගොඩනැඟිලි කිහිපයක් ම හඳුනාගත හැකි ය. කුඩා මණ්ඩප වැනි ගොඩනැඟිලි සඳහා මෙම කොරවක්ගල නිර්මාණය කර ඇත. කුට්ටම්පොකුණ අසළ අංක 1 ගොඩනැඟිල්ලේ මෙම තනි පුවරුවේ මුරගල හා කොරවක්ගල දැකගත හැකි ය. තනි ඍජුකෝණාස‍්‍රාකාර ගල් පුවරුවක් යොදාගෙන සරල උඩු අතට කැරකැවුණු හැඩය සහිතව අංකරණ කිසිවක් නොමැති මරුගල සහිතව නිර්මාණය කර ඇත (ඡායාඵලක අංක 7)

6-7-koravakgal-abhayagiriya-anuradhapura-sri-lanka-nirosha-udayandani-archaeology-lk
ඡායාඵලක අංක 6 හා 7

විමාන සහිත කොරවක්ගල්

මෙවැනි විශේෂ කොරවක්ගල් නිර්මාණයක් කුට්ටම්පොකුණ උතුරු පොකුණේ පියගැටපෙළෙහි කොරවක්ගල හඳුනාගත හැකි ය. මෙහි ආයත චතුරශ‍්‍රාකාරව කොටස් එකතු කිරිමෙන් නිර්මාණය කර තිබුණ ද පිටත කොටසෙහි විමාන ලක්ෂණ සහිතව නිර්මාණය කර ඇත. (ඡායාඵලක අංක 8) විශේෂත්වය වන්නේ කුට්ටම්පොකුණ වැලි මළුවට පිවිසීම සඳහා ඇති කුඩා පියගැටපෙළ සහිත කොරවක්ගල් හි විමාන ලක්ෂණ සහිතව නිර්මාණය කර තිබීම හඳුනාගත හැකි ය (ඡායාඵලක අංක 9).

එමෙන් ම සමාධි පිළිමය දකුණු දිශාවේ 31 වැඩබිමට අයත් නැගෙනහිර ද්වාර පණ්ඩපය සඳහා යොදාගෙන ඇති කොරවක්ගල විශේෂ කොරවක්ගලක් ලෙසින් හඳුනාගත හැකි ය. කලාකරුවාගේ ශෛලමය කලා නිපුණත්වය මොනවට පියා පෑමට සාධක සක්සුදක් සේ සපයයි. සියුම් රේඛා භාවිතයෙන් සුලභව දැකගත නොහැකි වන ආකාරයේ කොරවක්ගලක් නැගෙනහිර ද්වාරමණ්ඩපයෙන් දැකගත හැකි ය (ඡායාඵලක අංක 10) කොරවක්ගලෙහි මුදුනත කොටස ද ඉතාමත් අලංකෘතව සියුම් ව නිර්මාණය කර ඇත. සුවිශේෂිත්වය වන්නේ දැඩි මෘදු ස්වභාවයකින් යුක්ත වීම ය (ඡායාඵලක අංක 11)

8-9-10-11-koravakgal-abhayagiriya-anuradhapura-sri-lanka-nirosha-udayandani-archaeology-lk
ඡායාඵලක අංක 8, 9, 10 හා 11

ආශි‍්‍රත ග‍්‍රන්ථ

  • කුමාරදාස, ඩබ්. ඒ. (2008) කොරවක් ගල්, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, කොළඹ.
  • කුලතුංග ටී.ජි. (2014) අභයගිරි පුරාණය, මධ්‍යම සංස්කාතික අරමුදල , කොළඹ.
  • පරණවිතාන, සෙනරත් (1963) ලංකාවේ ස්ථූපය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • මාරසිංහ, වෝල්ටර් (1994) පුරාතන වාස්තු ශාස්ත‍්‍රයේ බොරදම් භාවිතය, සංස්කෘතික පුරාණය මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • වික‍්‍රමගමගේ, චන්ද්‍ර (1995) ශී‍්‍ර ලංකාවේ පැරණි ගොඩනැඟිලි දොරටු, ශී‍්‍ර ලංකා සංස්කෘතික ශාස්ත‍්‍රායනය, කොළඹ.
  • ශී‍්‍ර සුමංගල හිමි, හික්කඩුවේ සහ දොන් අන්දිස් ද සිල්වා බටුවන්තඩාවේ (1912) මහාවංශය, රජයේ මුද්‍රණාලය, කොළඹ.