Home Blog Page 21

හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ පුස්කොළ පොත් පිළිබඳ විමර්ශනයක්

දීපාංජනී ඇල්ලේපොල හා අනුෂා අතුකෝරාළ

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

දීපාංජනී ඇල්ලේපොල (වමේ) හා අනූෂා අතුකෝරාළ (දකුණේ)

1. හැඳින්විම

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ, හඟුරන්කෙත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මාදන්වල ගමේ පිහිටි මාදන්වල රජමහා විහාරය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන විහාරයකි. මෙම විහාරස්ථානයට අයත් පුස්තකාලයේ තැන්පත් කර ඇති පුස්කොළ පොත් පිළිබඳව කරන ලද අධ්‍යයන තුළින් වාර්තා තරන ලද තොරතුරු මෙම මාතෘකාව යටතේ  ඉදිරිපත් කර ඇත. මාදන්වල විහාරස්ථානයට අයත් අධ්‍යයනය කරන ලද  මෙම පුස්කොළ පොත් විවිධ විෂය කේෂත‍්‍රයන් යටතේ හඳුනා ගත හැකි විය. ආගමික, කෘෂි කර්මාන්තයට අයත් පොත්, ඉතිහාස පොත්, වෛද්‍ය විද්‍යාව, නැකැත් හා ජ්‍යෙතිශ්‍ය විද්‍යාව ආදිය මෙම පුස්කොළ පොත් අතර විය. ඒ අතරින් කිසිවක් නොලියන ලද එහෙත් ලිවිමට සුදානම් කර ඇති පුස්ගෙඩිය නමින් හඳුන්වන පොත් කිහිපයක්ම වාර්තා විම ද වැදගත්  සාධකයක් ලෙස සැලකිය හැකි ය.

මෙම ස්ථානයේ දී සිදු කරන ලද පුස්කොළ පොත් අධ්‍යනයෙන් විෂය කේෂත‍්‍රය හඳුනා ගැනිමට අමතරව කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන ලදි.  පුස්කොළ ලේඛන ලිවීම ප‍්‍රගුණ කළ යුතු ශිල්පයක් මෙන්ම සංයමයෙන් කළ යුතු කාර්යයක් ද වේ. එමගින් අවශ්‍ය ලේඛන ලිවීම පහසු වේ. අදාළ විෂය කරුණු කළමනාකරණය මෙම ලේඛන කලාවට ආවේණික වූ ලේඛන රීතින් පිළිබඳ අවබෝධය හා පුරුදුපුහුණු වීම, සුගම ලෙස පුස්කොළ ලේඛන ලිවීමට වැදගත් සාධක වේ. එම නිසා පුස්කොළ පොත් ලියු ලේඛකයින් පිළිබඳ දැනුවත් වෙමින් (වගු අංක 1හි සඳහන් පරිදි  ඒ ඒ පොත් ලියු ලේඛකයින්ගේ තොරතුරු ඇතුළු කර ඇත.) පුස්කොළ පොත් ලියු කාලය සහ සමහර අවස්ථාවල දී ලියු ලේඛකයාට බරපැන් දරා ලබා ගත් අවස්ථා ද මෙම පර්යේෂණයේ දී හඳුනා ගත හැකි විය. පුස්කොළ පොතක අඩංගු පත් ඉරු සංඛ්‍යාව, භාෂාව, පැවැත්ම මෙන්ම පුස්කොළ පොතේ ආරක්ෂාවට යොදා ඇති පොත් කම්බය ද අධ්‍යයනය කරන ලදි. එම කම්බා සහ පොත, පොත් ලණුව තද වීමට යොදන සකියාව සකස් කිරිම සම්බන්ධව ද කරුණු වාර්තා කර ඇත. මෙම පොත් පිළිබඳ කරුණු වාර්තා කිරිමේ දී ඒවායෙහි දිග, පළළ, උස, බර මෙන්ම පත්ඉරු සංඛ්‍යාව ආදියෙහි විස්තරය ද ඇතුළු කර ඇත. පොතට යොදන කම්බය සකස් කර ඇත්තේ කෙසේද සහ ඒවාට යොදා ගත් මාධ්‍ය, සැරසිලි මෝස්තර පිළිබඳව ද කරුණු සඳහන් වේ. න-ස්පර්ශනීය උරුමයක් වශයෙන් ද වැදගත් වන්නා වූ මෙම පොත්වල අභ්‍යන්තරයේ සඳහන් කරුණු වලට අමතරව පත්ඉරු මත අඳින ලද විශේෂ  සහ දුර්ලභ වශයෙන් වාර්තා වන විවිධ චිත‍්‍ර සටහන් විශාල ප‍්‍රමාණයක් වාර්තා කිරිමට හැකි වීම මෙම අධ්‍යයනය සාර්ථක කර ගැනිමට ඉවහල් වු බව පෙනේ. (වාර්තා කරන  පුස්කොළ පොත්වල විස්තර ඇතුළත් කොටස සකස් කරන ලද වගුව වගු අංක 1 ලෙස ඉදිරිපත් කර ඇත).

(මෙම ඡායාරූපය http://amazinglanka.com/ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණිකව සලකන්න)

2. ප‍්‍රවේශය

මාදන්වල විහාරයේ පුස්කොළ ලේඛන අධය්‍යනයෙන් වාර්තා කරන ලද තොරතුරු විමර්ශනය කිරිමට පෙර සඳහන් කිරිමට පෙර මෙකී කලාව පිළිබඳ මුලික හඳුනා ගැනිමක් සහ ප‍්‍රවිශ්ඨයක් ලබා ගැනිමේ දී  එහි ඉතිහාස සහ විකාශනය පිළිබඳ සඳහන් කළ යුතු වේ. අතිීතයේ පටන්  වර්තමානය දක්වා ලිවීමට ගන්නා ලේඛන ද්‍රව්‍යයක් ලෙස පුස්කොළ මාධ්‍ය හඳුනාගත හැකි ය. ඝර්ම කලාපීය රටක් වශයෙන් ශි‍්‍ර ලංකාවේ බහුලව වැඩෙන තල ගසේ ගොබය ලේඛනයට සුදුසු පරිදි සකස් කර ලිවීමට භාවිත කිරිම ලංකාවේ ලේඛන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැළකේ. කි‍්‍රස්තු වර්ෂ 16 වැනි සියවසේ පෘතුගීසින් කඩදාසි හඳුන්වා දුන් නමුදු එම කාලවකවානුව තුළ දී  ද පුස්කොළ ලේඛන භාවිත විය (දීපාංජනී 2009:51). ශත වර්ෂ ගණනක් අඛණ්ඩව ලංකාවේ ලේඛන මාධ්‍යයක් වශයෙන් පුස්කොළ භාවිත වු බවට සාධක ඇත. පුස්කොළ ලේඛන සම්ප‍්‍රදායේ ඉතිහාසය කි‍්‍රස්තු පූර්ව යුගයේ ආරම්භ වන්නට ඇතැයි සැළකේ. මිහිඳු හිමියන්ගේ ලංකාගමනයෙන් පසු මෙරට බුදුුදහම ප‍්‍රචලිත වීමත්, ඉන්පසු සංඝමිත්තා තෙරණිය සමඟ පැමිණි විවිධ ශිල්පින්ගේ ශිල්පශාස්ත‍්‍ර දැනුම ලංකාවේ විමධ්‍යගත විමත්  නිසා එම දැනුම් සම්භාරය ලේඛන ගත කිරිමේ සම්ප‍්‍රදායය කි‍්‍රස්තු පූර්ව යුගයේ මුල් කාලයේ සිට ආරම්භ වු බව පෙනේ (ද සිල්වා, ඔස්ටින් සි.එම්. 221:1969).

පුස්කොළ ලේඛන සම්ප‍්‍රදායය තුළ ලිය වී ඇති ලේඛන ආගමික, ආගමික නොවන සංස්කෘතික, සමාජිය තොරතුරු ආදිය පිළිබඳ කරුණු අන්තර්ගත වේ. වර්තමානයේ පවතින තාක්ෂණය මෙන්ම එදා පැවති තාක්ෂණය ලෙස හඳුුනා ගන්නේ පුස්කොළ ලේඛනයි. මෙම ලේඛන තුළ දැනුම පුද්ගල තොරතුරු සන්දර්භගත වී ඇත. සංස්කෘතික සන්දර්භය, කාල සන්දර්භය, අවකාශ සන්දර්භය මෙන්ම එය සහතික කළ සමාජ සන්දර්භය සඳහා පැවතුනේ උපයෝගීතාව සහ ඊට සරිලන ඉල්ලුමයි. පුස්කොළ ලේඛන සඳහා ද උපයෝගීතාවක් සහ ඉල්ලුමක් තිබුණි. එම නිසාම මුඛ පරම්පරාගත දැනුම ලේඛනගත කිරිම පුස්කොළ ලේඛන තුළින් විධිමත් වු බව අප දන්නා ඉතිහාසගත සිදුවිමකි. එය ලේඛන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ. ශිලා ලේඛනවලින් පසු පුස්කොළ ලේඛනවලට පරිවර්තනය වීම මෙහි අනෙක් වැදගත් කරුණ වේ.

දැනට ලෝකයේ පැරණිම පුස්කොළ හඳුනාගෙන ඇත්තේ කි‍්‍රස්තු පූර්ව 2 වැනි සියවසට අයත් මධ්‍යයම ආසියාවෙන් ලැබුණු පුස්කොළ පොතකි. ලංකාවේ පැරණි පුස්කොළ පොත කි‍්‍රස්තු වර්ෂ 13 වැනි සියවසට අයත් බව හඳුනාගෙන ඇත (විමලරත්න 1989:52) මෙරට සෑම ප‍්‍රදේශයකම මෙන්ම  විදේශියන්  සතුව විවිධ  විෂයන්ට අයත් පුස්කොළ පොත් 75,000ක් පමණ වෙතැයි සැළකේ. මෙයින්  95% පමණ 18, 19 වන සියවස් තුළ ලියන ලදැයි සිතීමට සාධක ඇතත් ප‍්‍රමාණවත් පුස්කොළපොත් ප‍්‍රමාණයක් 20 වැනි සියවස කාලයට අයත් යැයි සැළකේ. 18 වැනි සියවසට පෙර ලියන ලද පුස්කොළ පොත් හමුවන්නේ විරල වශයෙනි. ගම්පල හා කෝට්ටේ රාජධානි පැවති කාලයේ ලියන ලද පුස්කොළ පොත් කිහිපයක් වාර්තා වන නමුත්  කි‍්‍රස්තු වර්ෂ 13 වැනි සියවස ලියන ලදැයි සැළකිය හැකි පුස්කොළ  පොත් 4ක් දැනට හඳුනාගෙන ඇත (ප‍්‍රනාන්දු 1985ː146). භාෂා ලක්ෂණ හා ලිවීමේ ශෛලිය, අනුව දැනට ලංකාවෙන් හමු වු පැරණිම පුස්කොළ පොත්  මෙම පොත් ලෙස  වාග් විද්‍යාඥයින් හඳුනා ගෙන ඇත. අනුරාධපුර හා පොළොන්නරුව යුගය දක්වා සහ ඉන්පසු යුගවල ලියන ලද පැරණි පුස්කොල පොත් කිසිවක් මෙතෙක් වාර්තා වි නොමැත.

පුස්කොළ ලේඛන සම්ප‍්‍රදායය විවිධ කලාපයන්ගේ පරිසරය අනුව වෙනස් වේ. දැනුම, සංස්කෘතිය, පරිසරය යන මේවා ජාලයක් ආකාරයට එකට අනුබද්ධව ක‍්‍රියාත්මක වන අතර අප රටෙහි පැවති පාරිසරික විවිධත්වය තුළ දැනුම එකතු කර ගැනීම, දැනුම බෙදා ගැනීම යන කාර්යයන් සඳහා සෘජුව හා රේඛීයව බලපා ඇත. පුස්කොළ ලේඛන සම්ප‍්‍රදාය සඳහා ද මෙම කරුණු මෙලෙසම අදාළ වේ. මෙම ලේඛන කලාව පිළිබඳ අධ්‍යනය කිරිමේ දී ආගමික අංශයට පමණක් නොව සංස්කෘතිකමය ජාලයක් ලෙස අධ්‍යනය කිරිම කළ යුතු ය.

උරුමය ස්පර්ශනිය න-ස්පර්ශනිය ලෙස වර්ග කළ හැකි ය. එහි දි යම්කිසි දෙයක් විසන්ධි  කොට නිර්වචනය කර එය සන්දර්භයක් තුළ තබා එය නිර්මාණය වුයේ කෙසේ ද පිළිබදව අධ්‍යයන වේ. පුස්කොළ ලේඛන ද එලෙස අධ්‍යයනය කළ යුතු අතර එය වැදගත් අවස්ථාවක් ලෙස සැළකිය හැකි ය. තල කොළ එක්ව ගත් කළ  පුස්කොළ මිටියක් ලෙස දෘශ්‍යමාන වුවද විශාල සන්දර්භයක් තුළ පවතින එකක් ලෙස මෙකී ලේඛන හඳුුනා ගැනේ. ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය, මධ්‍ය ඓතිහාසික යුගය, අපර ඓතිහාසික යුගය, ලෙස වර්ග කරමින් තාක්ෂණය, කලාව, චිත‍්‍ර, කැටයම් ආදි නිර්මාණය විම තුළින් ද්වීතියිික සංස්කෘතින් නිර්මාණය වී පවතී. පුස්කොළ ලේඛන සන්දර්භගත කරවීම ඊට සමගාමිව ඉතිහාසය අධ්‍යනය කිරිම මෙම පර්යේෂණයෙන් සිදු වීම වැදගත් වේ.

පුස්කොළ ලේඛන තුළ ද ස්පර්ශනිය න-ස්පර්ශනිය උරුමයන් අන්තර්ගත වේ. එම නිසා කාලයක් යන විට මෙම සන්දර්භයෙහි අන්තර්ගත සංස්කෘතික, සමාජිය ජාලයන් අභාවයට යාමක් පෙන්නුම් කර ඇති බව මෑත ඉතිහාසයේ දි දැක ගත හැකි ය. මෙවැනි අධ්‍යන තුළින් උරුම කළමනාකරණකරුවන්ට, සංරක්ෂකයින්ට, පුරාවිද්‍යාඥයින්ට මහත් පිටිවහලක් වන බව වැදගත් කරුණකි. මෙම ලේඛන ආරක්ෂා කිරිම වෙනුවෙන් ප‍්‍රඥප්ති සකස් වී ඇත. විශේෂයෙන් ඒවා හරහා මෙම ලේඛන ආරක්ෂා කිරිමට ද මෙමඟින් අවස්ථාව උදා වේ.

ජන කොට්ඨාශය, ස්වභාව ධර්මය, ඉතිහාසය, පුරාවිද්‍යාව, මනුෂ්‍ය පැවැත්ම, තිරසාරත්වය සහ අනන්‍යතාව පිළිබඳව පුස්කොළ ලේඛන වල ඇත. න-ස්පර්ශනිය උරුමය සම්බන්ධව ජන කොට්ඨාස ප‍්‍රතිරූපනය වන බව ද කිය වේ. මෙහි දීි මෙම උරුමයන් හී ඇතුළාන්තය පිළිිබඳ අධ්‍යයන කොට පරිච්ඡේද කිරීිමත් බෙහෝ පාරම්පරික කරුණු එළි දැක්විමත් මෙමඟින් සිදු කිරීිම වැදගත් වේ. සංස්කෘතිය යනු සැකසිමයි. පුරාවිද්‍යාවේ දී සිදු වන්නේ සාමුහික දැනුම සෙවිමයි. එයට ඉතිහාසගත සිදුවීම් හා මෙවැනි ලිඛිත  පුරාවස්තුන්ද එකතු කර ගත හැකි ය.

3. විමර්ශනය

පුස්කොළ ලේඛන සම්ප‍්‍රදාය අවකාශයන්ගේ පුළුල්  කිරිමට විධිමත් හා නොවිධිමත් ක‍්‍රම තුළින් අවකාශය සැලසෙන පර්යේෂණ ක‍්‍රමයකි. ඒ අනුව මාදන්වල විහාරයේ පුස්තකාලය සතු මෙම පුස්කොළ පොත් එකතුවේ අධ්‍යයන කර අනාවරණය කර ගත් කරුණු රැසකි. සමස්තයක් වශයෙන් වාර්තා කරන ලද පොත් ප‍්‍රමාණය 57කි. එම පුස්කොළ පොත් 57ම විවිධ පැතිකඩ ඔස්සේ විශ්ලේෂණය කර ඇති අතර පොත් පහත පරිදි වර්ග කරන ලදි.

  1. ආගමික පුස්කොළ පොත්
  2. සාහිත්‍ය පොත්
  3. වෛද්‍ය විද්‍යාවට අයත්  පුස්කොළ පොත්
  4. ජ්‍යෙතිශ්‍ය විද්‍යාවට අයත්  පුස්කොළ පොත්
  5. සමාජිය සහ සංස්කෘතිකමය කරුණු අඩංගු පුස්කොළ පොත්
  6. වෙනත් පොත්

මෙහි දී ආගමික හා සාහිත්‍යමය කරුණු ඇතුළත් පුස්කොළ පොත් යටතේ සුත‍්‍ර විශාල ප‍්‍රමාණයක් ලියා ඇත. එයින් බ‍්‍රහ්මජාල සහ සතිපට්ඨාන සුත‍්‍ර වැඩි වශයෙන් හඳුනාගත හැකි විය. සාහිත්‍ය කාණ්ඩය යටතේ ජාතක පොත් සහ පුජාවලිය වැඩි වශයෙන් ලියා ඇති බවට කරුණු හඳුනා ගත හැකි විය.

පුස්කොළ පොත්වල පරිමාණයන් කෙරෙහි අදහස් දැක්විමේ දී සෑම පොතක්ම සෙන්ටි මීටර් 30ට වඩා දිගින් යුක්ත ය. එවැනි ප‍්‍රමාණයට පත්ඉරු සැකසීම ඉතා අසිරු කාර්යයකි. සෑම පත්ඉරුවක්ම දිගින් වැඩිවන තරමට ගොනු කළ හැකි විෂය කරුණු පෘථුල ය. එමෙන්ම සෑම ආගමික කරුණක් සඳහන් පොත්වල පළල සෙන්ටි මීටර් 2ට වඩා වැඩි ය. පත්ඉරුවක පළල සකස්වන්නේ තලගොබයේ ඇති ප‍්‍රමාණයට නිසා පත්ඉරුවට සකස් කිරිමට ගත් තල ගොබය සශි‍්‍රක තත්වයේ තිබෙන්නට ඇති බව නිගමනය කළ හැකි ය. ආගමික පොත් රචනා කිරිමේ දි පළල් පත්ඉරු භාවිත කිරිම බොහෝ අවස්ථාවල දී හඳුනා ගත හැකි ය. වෙද පොත් කිහිපයක්ම සෙන්ටි මීටර් 0.5 සහ 2 ආකාර විය. වෛද්‍ය විද්‍යාවට අයත් පුස්කොළ පොත්, අත් බෙහෙත් සහ වට්ටෝරු ලෙසත් ඒවා රැගෙන යාමේ පහසුවත් නිසා කුඩා පත්ඉරු යොදා ගැනිමෙන්  පොත් නිමවනු ලබයි.  පුස්කොළ පොත්වල උස සඳහන් කිරිමේ දී යොදා ගත් පත්ඉරු ප‍්‍රමාණයට අනුව වෙනස් වේ. වැඩිම උස සහිත පොත ලෙස වාර්තා වුයේ පුජාවලියයි. පත් ඉරු සංඛ්‍යාව 503ක් වන අතර උස සෙන්ටි මීටර් 20 කි.

මෙම පොත්වල අභ්‍යන්තරව සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ලියන ලද භාෂාව, අක්ෂරවල ප‍්‍රමාණය, අක්ෂර වර්ගය, කාලය, ලියන ලද්දේ කවුරුන් විසින් ද බරපැන් දැරූ පිරිස, පුස්කොළ ලේඛන රීතින් අනුගමනය කිරිම සහ පත්ඉරුවල ඇති චිත‍්‍ර සටහන් ද වේ. පුස්කොළ ලේඛන ලිවීමේ දී අක්ෂර ශෛලින් කිහිපයක්ම වේ. ගජාක්ෂර. සිංහාක්ෂර, හංසාක්ෂර, කාකාක්ෂර යන මේවා අතරින් වැඩි වශයෙන් සිංහාක්ෂර, ගජාක්ෂර මෙන්ම හංස අකුරුවලින් ලියන ලද පොත් වාර්තා විය. අකුරු මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්ත ය. ආගමික  පුස්කොළ පොත් බහුතර ප‍්‍රමාණයක් පාලි භාෂාවෙන් ද අනෙකුත් පොත් සිංහල භාෂාවෙන් ලියා ඇකි අතර ඇතැම් පොත් ගද්‍ය සහ පද්‍ය ශෛලිය අනුගමනය කර ඇත. පුස්කොළ ලේඛන ලිවීමේ දී ලේඛන රීතියට අයත් වන කාලය සහ කතෘ සඳහන් කිරීිම සිදු වේ. මෙහි දි  එම කරුණු මුල් පත්ඉරුවේ හෝ අවසන් පත්ඉරුවේ සඳහන් කිරීම සිදු වේ. මෙම පුස්කොළ පොත්වල ද මුල හෝ අග පත්ඉරුවල ලියන ලද කර්තෘ, බරපැන් දරා පූජා කළ පිරිස මෙන්ම කාලය ද සඳහන් කර ඇති අවස්ථා වාර්තා විය. මෙහි දී විශේෂයෙන් හඳුුනාගත හැකි කරුණක් වුයේ ආගමික කාණ්ඩයට අයත් පුස්කොළ පොත් රචනා කර ඇත්තේ භික්ෂුන් වහන්සේලා විසින් බවයි. මාදන්වල විහාරය වර්තමානයේ පිරිවෙනක් ලෙස ප‍්‍රකට ය. එසේම අතීතයේ පටන් එසේ පැවති බවට සාධකයක් මෙවැනි කරුණු තුළින් හඳුනාගත හැකි වේ. මෙහි දී මාදන්වල පිරිවෙනේ නේවාසික භික්ෂුන් වහන්සේලා විසින් පොත් ලියා ඇති බවට පුස්කොළ ලේඛන තුළ අඩංගු කරුණු තුළින් සාධක ලැබෙන අතර එම භික්ෂුන් වහන්සේලාට බර පැන් දරා ලබා ගෙන මෙකී විහාරයට පුජා කළ බව සඳහන් වේ.  එයින් ඉහත සඳහන් කළ සාධකයන් මෙම කරුණු තවදුරටත් සනාථ කරනු ලබයි (වගු අංක 1). භික්ෂුන් වහන්සේලාට අමතරව ගිහි පිරිස ද පුස්කොළ පොත් ලියා ඇති අතර බර පැන් දරා පුජා කළ බවට තොරතුරු වාර්තා විය.

වෛද්‍ය හා ජ්‍යොතිශ්‍ය විද්‍යාවට අයත් පොත්වල කතෘ පිළිබඳ සඳහන් නොවේ. මෙද විශේෂත්වයක් කොට සැළකිය හැකි ය. මේවා බොහෝ විට සම්ප‍්‍රදායිකව හා පාරම්පරිකව පැවත එන නිසා කතෘ පිළිබඳ සඳහන් නොකිරීමට හා සඟවා තැබිමට උත්සාහ ගෙන ඇති බව පෙනේ. පුස්කොළ පත්ඉරුවේ කර්තෘ සමඟ කාලය දක්වා ඇත. මෙය ද පුස්කොළ ලේඛන ලිවීමේ රීතියක් ලෙස සළකා ඇත. කාලය හඳුනා ගැනිමෙන් පුස්කොළ පොතේ වයස නීර්ණය කළ හැකි ය. පුස්කොළ පත්ඉරුවක කාලය දැක්වීමේදී කි‍්‍ර.ව., බු.ව., ශ.ව. යොදා ගනිමින් ඒ ඒ දින හා කාලය හෝරාව ලිත හෝ සිංහල ක‍්‍රමයට නැතිනම් නැකැත් ක‍්‍රමයන්ට ලියා ඇත. මෙහි දී වාර්තා කරන ලද සියලුම පුස්කොළ පොත් 18 සහ 19 වන සියවස් වලට අයත් ඒවා බව අනාවරණ විය. ලියන ලද කාලයට අමතරව පුජා කරන ලද කාලය ද සඳහන් කරන ලද අවස්ථා විය. සමහර අවස්ථාවල දී කාලය සඳහන් කර නොමැති විට දී පොතට යොදන වෙනත් අංග මත පදනම්ව කාලය නිශ්චය කළ හැකි ය. එහි දී පොත් කම්බය අතර යොදන පොත් සකියාව තුළින් එහි කාලය හඳුනා ගත හැකි විය. උදහරණ වශයෙන් ශතයේ කාසි, VOC කාසි පොත් සකියාව ලෙස භාවිත කර තිබු අතර එහි සඳහන් වර්ෂ තුළින් කාලය හඳුනා ගත හැකි විය.

මෙම පොත් එකතුවේ හිස් පුස්කොළ පොත් කිහිපයක්ම වාර්තා විය. මේවා පුස්ගෙඩිය ලෙස හඳුන්වන අතර එදිනෙදා ප‍්‍රයෝජනයට හෝ යථා කාලයේ ලිවීමට පෙර සුදානම් කර සකස් කරන ලද ඒවා ලෙස සැළකිය හැකි ය. මෙවැනි පොත් බොහෝ ප‍්‍රමාණයක්  වාර්තා වී ඇති නිසා  භික්ෂුන් වහන්සේලාට අප වර්තමානයේ පොත් පුජා කරන්නා සේ පුජා කරන්නට ඇති  බව සැළකිය හැකි ය. ලිවීම මෙම විහාරයේම සිදු කර ඇති බවට සාධක හමුවන නිසා එවැනි කාර්යයක් සිදු වන්නට ඇති බව සඳහන් කළ හැකි ය. පුස්ගෙඩිය මෙම විහාරයට ලැබෙන අනෙක් කරුණ වන්නට ඇත්තේ අතීතයේ කෙනෙකු මිය ගිය පසු හත්දවසේ හෝ තුන්මාසයේ දානයට පුස්ගෙඩියක් පුජා කිරීම සිරිතක් වශයෙන් ද සිදු කර ඇත (ලගමුව 2007:121). එම නිසා මෙකී විහාරස්ථානය අවට ජනයා එවැනි සිරිත් අනුගමනය කරන්නට ඇති බව අනුමාන කළ හැකි ය.

අභ්‍යන්තර කරුණු කෙරෙහි අවධානය යොමු කිරිමේ දී අනෙක් වැදගත් කරුණ වන්නේ පත්ඉරු මත ඇදි විවිධ වු චිත‍්‍ර සටහන් හා ජ්‍යාමිතික මොස්තරයි. මෙවැනි සටහන් විශාල ප‍්‍රමාණයක් වාර්තා කිරීිමට හැකි විය. චිත‍්‍ර සටහන් භාවිතයට කරුණු කිහිපයක්ම බලපානු ලබයි. අන්තර්ගත විස්තරය කෙටිකර අර්ථය ලබා දීම, යමක් දැක්වීමේ දී කරුණු වැඩිදුරටත් පැහැදිලි කිරීම, සමහර අවස්ථාවල දී කරුණු සැඟවීමට උත්සාහ කිරිම, ව්‍යංගයෙන් කරුණු දැක්වීම හා ඉඩ කළමනාකරණය ආදිය සඳහන් කළ හැකි ය. එසේ සටහන් කරන ලද  චිත‍්‍ර ප‍්‍රමාණයක් කොටස් කිහිපයක් යටතේ වර්ග කරන ලදී.

  • නෙළුම් මල් මෝසතර
  • විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත මල් මෝස්තර
  • විවිධ ජ්‍යාමිතික හැඩතල
  • විවිධ ජ්‍යාමිතික හැඩතල සත්ව රූප
  • විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත මානව රූප
  • විවිධ සත්ව රූප
  • විවිධ ගස් වර්ග
  • වෙනත්

ලෙස මේවා වර්ග කළ හැකි ය (අංක 1-23 චිත‍්‍ර සටහන්). එම චිත‍්‍ර වැඩි වශයෙන් වාර්තා වුයේ ජ්‍යෙතිශ්‍ය හා නැකැත් ශාස්ත‍්‍රයට අයත්  පුස්කොළ පොත්වල සහ වෛද්‍ය විද්‍යාවට අයත් පොත්වලය. සුත‍්‍ර පොත් කිහිපයකම ජ්‍යාමිතික මල් මොස්තර අනර්ගත කර ඇත, සූත‍්‍ර පොත්වල එම සූත‍්‍ර හෝ කරුණු වෙන් කිරිම සඳහා ජ්‍යාමිතික මල් මොස්තර යොදා තිබුුණි. මෙම චිත‍්‍ර තුළින් හඳුනාගත හැකි කරුණු කිහිපයක්ම වේ. මෙහි දී ලිවීමට දන්නා කර්තෘ චිත‍්‍ර ශිල්පියෙකු ද වී ඇත. ඔහු කලාකාරයෙක් ද විය. එමෙන්ම ලේඛන පිළිබඳ මනා නිපුණත්වයෙන් යුත් කෙනෙකු ද විය .

බාහිර වශයෙන් පුස්කොළ පොතක වැදගත්ම කොටස් කිහිපයකි. ඒවා පොත් කම්බය (පොත් කවරය), නුල සහ පොත් සකියාවයි. (නූල සහ කවරය අතරට යොදා බොත්තම වැනි දෙයකි). පුස්කොළ පොතක ආරක්ෂාවට අලංකාරයට හා වටිනාකම ලබා දීමට මේවා විශේෂ කොට සළකුණු ලබයි. වාර්තා කරන ලද පොත් වල වැඩි ප‍්‍රමාණයකට දැව මාධ්‍ය උපයෝගී කරගෙන සකස්කරන ලද කම්බා යොදා ඇත. ලාක්ෂාවලින් හැඩකරන ලද සම්ප‍්‍රදායික සැරසිලි මෝස්තර ද යොදා ඇත. ඊට අමතරව ලෝහ මාධ්‍යයෙනන් සකස් කරන ලද කම්බා 1 පමණක් වර්තා විය. (වගු අංක 1) පොත් සකිය සඳහා ඇත්දළ පිත්තල මිශ‍්‍ර ලෝහ,හා විවිධ කාසි වර්ග භාවිත කර ඇති බවට සාධක වාර්තා වි ඇත. සමහර පුස්කොළ පොත්වලට පත්ඉරුවලින්ම පොත් කම්බය යොදා තිබු අතර පොත් කම්බය නොමැති පොත් ද  කිහිපයක්ම වාර්තා විය.

ඉහත සඳහන් පර්යේෂණය තුළින් පුස්කොළ ලේඛන සම්ප‍්‍රදායට අයත් කරුණු රැසක් වාර්තා කරන ලදි. මෙම ලේඛන සම්ප‍්‍රදාය අධ්‍යයන කිරිම හැදැරීම, ඓතිහාසික, සංස්කෘතික, ආගමික, දේශපාලනික, සමාජීය වශයෙන් පමණක් නොව උරුම කළමනාකරණයේ ද අන්තර්ගතයකි. මෙම කරුණු සියල්ලක්ම පුස්කොළ ලේඛනවල විවිධ පරිසර ඔස්සේ අන්තර්ගත වි ඇති අතර මේවා අධ්‍යයන කිරිම අනාගතය වෙනුවෙන් සිදුකරන බුද්ධිමය ආයෝජනයක් ද වේ. එමෙන්ම පර්යේෂකයින්ට, සංරක්ෂකයින්ට, වාග් විද්‍යාඥයින්ට මෙමඟින් දිරිමත් වීමටත්, ඉදිරි පර්යේෂණ සඳහා යොමු වීමටත් වැදගත් කොට සැළකිය හැකි ය.

4. ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

  • ඇල්ලේපොල, දිපාංජනී (2009), පුස්කොළ ලේඛන සම්ප‍්‍රදාය සහ එහි අන්තර්ගත ලේඛන ප‍්‍රයෝග පිළිබඳ විමසුමක්, විකල්ප පුරාත්ත්ව, 2 කලාපය, පුරාවිද්‍යා අධ්‍යන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
  • පරණවිතාන කේ.ඞී. (1996), ශි‍්‍ර ලංකාවේ පුස්කොළ ලේඛනවල ආරම්භය විකාශනය, කෞතුකාගාර, 4 වන කලාපය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ප‍්‍රනාන්දු පි.ඊ.පි. (1953), බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ පුස්කොළ පොත, පියවර, ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල සංගමයේ වාර්ෂික සගරාව, කොළඹ.
  • විමලරත්න කේ.ඩි.ජි. (1989), පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය හා ප‍්‍රතිසංස්කරණය, කොළඹ.
  • ද සිල්වා, ඔස්ටින් සි.එම්. (1969), පැරණි ලංකාවේ ග‍්‍රන්ථ නිෂ්පාදනය, අධ්‍යයන සියවස ප‍්‍රකාශනය, 1 අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ලගමුව, ආරිය (2007), ශි‍්‍ර ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව, සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්මේන්තුව, කොළඹ.
  • මාදන්වල විහාරයේ සිදු කරන ලද කේෂත‍්‍ර පර්යේෂණය, 2016

මාදන්වල රජමහා විහාරයේ පුස්කොළ පොත් පිළිබඳ  විමර්ශනයෙන් ලබා ගත් දත්ත

අංක පුස්කොළ පොතේ

නම

පරිමාණය විස්තරය
දිග

(සෙ.මී.)

පළල

(සෙ.මී.)

උස

(සෙ.මී.)

බර

(ග‍්‍රෑම්)

පත් ඉරු
1 සුත‍්‍ර පොත (දේව දූත සූත‍්‍රය සහ සතිපට්ඨාන සූත‍්‍රය) 43.5 6.1 5.8 819 24 නූතන සිංහල හා මධ්‍යම ප‍්‍රමාණයේ අක්ෂර සහිත සූත‍්‍ර පොතකි. දැව කම්බා සහිත ය. එම කම්බා මතුපිට පලාපෙති ලියවැල් මෝස්තර රතු, කහ, කළු වර්ණ යොදා අලංකාර කර ඇත. පළමු වැනි පත්ඉරුවේ ජ්‍යාමිතික මෝස්තර සහිත ය.
2 බ‍්‍රහ්මජාල සූත‍්‍රය සහිත පුස්කොළපොත 48 6.5 3.8 534 141 පාලි බසින් රචිත පුස්කොළ පොතකි. අක්ෂර මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්ත ය. දැව කම්බය සහිත ය. කම්බය ජ්‍යාමිතික හා විවිධ පලාපෙති මෝස්තර සහිත ය. කහ, කළු වැනි වර්ණ යොදාගෙන ඇත. මධ්‍යයෙහි හංස පූට්ටුව නිර්මාණය කර ඇත.
3 බ‍්‍රහ්මජාල සූත‍්‍රය සහිත පුස්කොළ පොත 36 6 13 1.359 468 පාලි භාෂාවෙන් රචිත ය. දැව කම්බා සහිත ය. ජ්‍යාමිතික මෝස්තර යොදා ලාක්ෂා වලින් අලංකාර කර ඇත. කහ සහ කළු වර්ණ යොදාගෙන ඇත.

 

4 වෙස්සන්තර ජාතකය සහිත පුස්කොළ පොත 47.7 5.7 3.5 437 44 සිංහල භාෂාවෙන් රචිත මෙම පුස්කොළ පොත ලාක්ෂා කම්බයක් යොදා ඇත. කළු, රතු වර්ණ යොදා ගෙන පලාපෙති හා ජ්‍යාමිතික මෝස්තරවලින් අලංකාර කර ඇත.
5 සතිපට්ඨාන සූත‍්‍රය හා උයද සූත‍්‍ර වර්ණනාව සහිත පුස්කොළ පොත 50.3 6 4.4 645 152 දැව කම්බා හා ලාක්ෂාවලින් අලංකාර කරන ලද පුස්කොළ පොතකි. පිච්ච වැල නිර්මාණය කර ඇත. 49 වැනි පත් ඉරුවේ ජ්‍යාමිතික මෝස්තර ඇඳ ඇත.
6 පිරුවානා පොත්වහන්සේ 44.5 5.6 4.7 463 142 ජ්‍යාමිතික රූප සටහන් පත් ඉරු මත ඇඳ ඇත. පාලි භාෂාවෙන් රචනා කරන ලද මෙහි අක්ෂර මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්ත දැව කම්බයකි.
7 සප්ත සූරියෝද්ගමන සූත‍්‍රය 4.5 5.2 0.5 588 64 පාලි භාෂාවෙන් රචිත මෙම පුස්කොළ පොතේ ලාක්ෂා ලියවැල්, පලාපෙති මෝස්තර ඇතුළත් දැව කම්බයකි.
8 බණදහම් පොත 35.5 5.5 9.4 957 211 ශත වර්ෂ 1913 දී රචනා කරන ලද මෙම පොත දැව ලාක්ෂා කම්බා සහිත ය. රතු සහ කළු වර්ණ ගල්වා කැටයම් රහිත ය.
9 පුස්ගෙඩිය 44 3 1.179
10 පුජාවලිය 47.8 5.7 4.8 143 කම්බා රහිත ය. මෙම පොත ලියා අවසන් කර නොමැත.
11 වෛද්‍ය ග‍්‍රන්ථය 34.5 0.6 4.9 584 112 සිංහල භාෂාවෙන් රචිත මෙම පුස්කොළ පොතේ ලාක්ෂා වර්ණ ගන්වන ලද දැව කම්බා සහිත ය. ක‍්‍රිස්තු වර්ෂ 1870ට අයත් ශතයේ කාසිය සකියාව ලෙස යොදා ඇත.
12 බ‍්‍රහ්මජාල සුත‍්‍රය 42.3 6 3.5 48 පාලි භාෂාවෙන් රචනා කරන ලද මෙම පොත දැව සරල කම්බා සහිත ය. ලෝකඩ සකියාවක් යොදා ඇත.
13 සතිපට්ඨාන සුත‍්‍රය 45 5 4 134 පාලි භාෂාවෙන් රචනා කරන ලද මෙම පොත කම්බා රහිත ය.
14 වෙද පොත 34.5 5.5 1.9 12 කවි ආකාරයට ලියන ලද බෙහෙත් වට්ටෝරු හා පිළියම් ඇතුළත් දැව සරල කම්බා සහිත ය.
15 ධම්මචක්ක සූත‍්‍රය පුස්කොළපොත 56.8 5.8 5.5 756 පාලි භාෂාවෙන් රචිත ය. දැව කම්බා සහිත ය. රතුපාට ලාක්ෂා ගල්වා ඇත. සිදුර ආශ‍්‍රිත ව කහ වර්ණයෙන් නිමවන ලද මලකි. මතුපිට කළු පැහැ ලාක්ෂාවලින් රේඛා යොදා ඇත.
16 පුස්ගෙඩිය 44 5.5 2.4 45 කම්බා රහිත ය. ඉදිරියේ දි අව්‍යශතාවන්ට අනුව ලිවීමට සකස් කරන ලද කිසිවක් නොලියු පොතකි.
17 පුස්ගෙඩිය 45.8 3.3 1.8 1.017 45 කම්බා රහිත ය. ඉදිරියේ දි අව්‍යශතාවන්ට අනුව ලිවීමට සකස් කරන ලද කිසිවක් නොලියු පොතකි.
18 අනාගතවංශ දේශනාව 37.5 4.5 2 1 084 34 සරල දැව කම්බා සහිත ය. පාලි භාෂාවෙන් රචනා කරන ලද මෙම පොතෙහි අක්ෂර මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්ත ය.
19 වෛද්‍ය හා ජ්‍යෙතිශ්‍ය ග‍්‍රන්ථය 22.5 6.3 11.6 672 78 සිංහල භාෂාවෙන් රචනා කර ඇත. දෙ වැනි පත්ඉරුවේ රේඛා චිත‍්‍ර සටහන් වේ.
20 සූත‍්‍ර පුස්කොළ පොත 43.3 0.6 8.1 71 100 ක‍්‍රිස්තු වර්ෂ 1893.02.26 අභයගිරි විහාරයේ දී ලියා ඇත. සප්ත සූරියොද්ගමන සූත‍්‍රය, බ‍්‍රහ්මජාල සූත‍්‍රය, පටිච්චසමූපාද සූත‍්‍රය ආදි සුත‍්‍ර ඇතුළත්ය. මුල් පත්ඉරුවේ ජ්‍යාමිතික මෝස්තර සහිත ය. දැවකම්බයකි. සැරසිලි මෝස්තරවලින් යුක්ත ය.
21 ජාතක පොත 48.4 4.4 3.7 50 සිංහල භාෂාවෙන් රචිත මෙම පොතට දැව කම්බයක් යොදා ඇත. කළු හා රතු වර්ණවලින් ලාක්ෂා සැරසිලි යොදා ඇත.
22 සප්තසූරියොද්ගමන සූත‍්‍රය 45 6 5.2 561 91 දැව සරල කම්බා සහිත ය. පාලි භාෂාවෙන් රචනා කරන ලද මෙම පොතෙහි අක්ෂර මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්ත ය.
23 වෙද හා ජ්‍යෙතිර්ශ්‍ය පොත 31.5 6.6 2.2 65 කම්බා සහිත ය. පත් ඉරුවල විවිධ ජ්‍යාමිතික මොස්තර ඇඳ ඇත.
24 ජ්‍යෙතිර්ශ්‍ය පොත 31 41.3 5.1 143 ගද්‍ය හා පද්‍ය රචනා ශෛලියෙන් ලියා ඇති මෙම පොතෙහි පත් ඉරු මත විවිධ ජ්‍යාමිතික චිත‍්‍ර සහ රාශි චක‍්‍ර සටහන් ඇඳ ඇත. සරල දැව කම්බා සහිත ය.
25 වෙද පොත 30.8 0.5 2.5 10 ගද්‍ය හා පද්‍ය රචනා ශෛලියෙන් ලියා ඇති මෙම පොතෙහි පත් ඉරු මත විවිධ ජ්‍යාමිතික චිත‍්‍ර සහ නැකැත් චක‍්‍ර සටහන් ඇඳ ඇත. සරල දැව කම්බා සහිත ය.
26 පුජාවලිය 47.2 6.9 19.5 1.252 503 සිංහල භාෂාවෙන් රචනා කර ඇත. දැව කම්බය ලාක්ෂා රතු හා කළු වර්ණ සහිත ය. VOC කාසියක් සකියාවට යොදා ඇත.
27 බ‍්‍රහ්මජාල සුත‍්‍රය 47.8 6 7’2 190 ශත වර්ෂ 1770 වෙසක් මස ගුරු දින ලියන ලද මෙම පොතෙහි විවිධ ජ්‍යාමිතික මොස්තර හා මොනර රූප ඇඳ ඇත.
28 සූප ශාස්ත‍්‍ර පොත 37.1 5.1 6.3 555 64 සිංහල අකුරින් ලියන ලද මෙම පොත කම්බා රහිත ය. වෛද්‍ය විද්‍යාව සහ සූප ශාස්ත‍්‍රය කරුණු ඇතුළත්ය.
29 බණ දහම් පොත 46.5 6 3.5 558 195 දැව කම්බය සහිත ය. කැටයම් නොමැත. පත්ඉරු දුර්වර්ණ වි ඇත. කි‍්‍රව 1922 ශතයේ කාසියක් යොදා ඇත.
30 අක්ෂි රෝග වෙද පොත 20 5 4 78 දැව කම්බය සහිත ය. ඇස් වෙදකමට අදාළ තොරතුරු ඇතුළත්ය. පත්ඉරු දුර්වර්ණ වි ඇත.
31 බ‍්‍රහ්මජාල සුත‍්‍රය 41 5.8 7.2 1.02 125 සෝභිත තෙරුන් විසින් රචනා කරන ලද පොතකි. දැව කම්බය සහිත ය.
32 පුස් ගෙඩිය 40.8 6 0.2 24 කිසිවක් පත්ඉරු මත ලියා නොමැති හිස් පුස්කොළ පොතකි.
33 කුරුධම්ම ජාතකය සහිත පදාර්ථ වර්ණාව 65.2 6.3 3.7 43 බුද්ධ වර්ෂ 2472 හෙවත් කි‍්‍රස්තු වර්ෂ 1928 දි උක්කුමැණිකා උපාසිකා සහ විජයසේකර මුදියන්සේලාගේ අප්පුහාමි විසින් පුජා කර ඇත. එහි 1929 වර්ෂය සඳහන් ශතයේ කාසියක් යොදා ඇත.
34 බ‍්‍රහ්මජාල සුත‍්‍රය සන්නය 41 5.8 7.2 75 කි‍්‍ර.ව 1990 නොවැම්බර් මස 22 වන දින කරගොල්ලේ දී කමතේ ගෙදර උපාසක රාළ විසින් ලියා ඇත. බු.ව 1821 දී දෙහිගොල්ලේ රධරානා විසින් බරපැන් අරවා මෙම විහාරයට පුජා කර ඇත.
35 නැකැත් පොත 31 04 5.1 143 කම්බය රහිතය. නැකැත් ශාස්ත‍්‍රයට අයත් තොරතුරු ඇතුළත්ය. රාහි චක‍්‍ර සහ වෙනත් ජ්‍යාමිතික මෝස්තර ඇඳ ඇත.
36 බ‍්‍රහ්මජාල සුත‍්‍රය 39 5.5 1.3 43 කම්බය රහිතය. සමහර පත්ඉරු දුර්වර්ණ වී ඇත.
37 වෛද්‍ය හා ජ්‍යෙතිර්ශ්‍ය පොත 31.5 6.6 2.2 65 කම්බය රහිතය. පොත් සකිය නොමැත. පත්ඉරුවල විවිධ රූප සහ විවිධ මොස්තර ඇඳ ඇත.
38 සුත‍්‍ර සහ සතර සංග‍්‍රහය 33.8 5.3 5 407 55 පාලි භාෂාවෙන් රචනා කර ඇත. දැව කම්බය කැටයම් රහිතය. පොත් සකිය නොමැත.
39 බණ දහම් සහ ජාතක කතා 45.3 5.3 3.6 392 48 සිංහල භාෂාවෙන් රචනා කර ඇත. දැව කම්බය ලාක්ෂා කැටයම් සහිතය. පොත් සකිය ඇත්දළයෙන් නිමවා ඇත.
40 බුද්ධ වංශ සහ අනාගතවංශ දේශනාව 45.6 6.3 2.3 405 46 සිංහල භාෂාවෙන් රචනා කර ඇත. දැව කම්බය සරල කැටයම් සහිතය.
41 මහා සතිපට්ඨාන සුත‍්‍රය 49.5 5.9 6 126 දොන් විජයසිංහ අප්පුහාමි විසින් කි‍්‍ර.ව1881 දි පාලි භාෂාවෙන් රචනා කර ඇත. දැව කම්බයකි.
42 කුරුධම්ම ජාතකය 36.9 5.3 3 292 36 සිංහල භාෂාවෙන් පද්‍ය ආකාරයට රචනා කර ඇත. දැව කම්බය කැටයම් රහිතය. පිත්තල සකියාවක් යොදා ඇත.
43 මිලින්දප‍්‍රඥහ 65 6 10 1.953 232 මාදන්වල රතනපාල තෙරුන් විසින් ලියා ඇත. මිශ‍්‍ර ලෝහයෙන් සකසන ලද කම්බයකි. මතුපිට අලංකාර කැටයම් යොදා ඇත. පිත්තල සකියාවකි.
44 වෙද පොත 30.8 5 2.5 10 ගද්‍ය සහ පද්‍ය ශෛලියෙන් ලියා ඇත. නැකැත් ශාස්ත‍්‍රයට අයත් තොරතුරු ඇත. දැව කම්බයකි. පත්ඉරුවල විවිධ රූප ඇඳ ඇත.
45 සුත‍්‍ර පොත ආලවක සුත‍්‍රය, චුල්ල හත්තිපදෝපම සුත‍්‍රය මහාපරිනිබ්බාන සුත‍්‍රය, චුල්ලහත්තිපදෝපම සුත‍්‍රය, බ‍්‍රහ්මජාල සුත‍්‍රය ආදි සුත‍්‍ර ඇතුළත්ය. කි‍්‍ර.ව 1892.2.26 අස්ගිරි විහාරයේ මාදන්වල බෝපිටියේ සුමංගල තෙරුන් විසින් ලියන ලද්දකි. ජ්‍යාමිතික මෝස්තර ඇඳ ඇත. දැව කම්බය ලාක්ෂා සැරසිලි මොස්තර සහිතය.
46 ජාතක පොත 39 6 3 32 දැව කම්බය ලාක්ෂා සැරසිලි මොස්තර රහිතය. 1966.3.27 වන දින සිරිබන්දු උපාසක මහතාට පිං පිණිස පුජා කර ඇත. පත්ඉරු දුර්වර්ණ වි ඇත.
47 සුත‍්‍ර දේශනා 70.5 6 7 1.195 179 පාලි භාෂාවෙන් රචනා කර ඇත. දැව කම්බය ලාක්ෂා සැරසිලි මොස්තර රහිතය.
48 බෙහෙත් වට්ටෝරු පොත 30.5 4.5 9.3 662 74 සරල දැව කම්බයකි.
49 වෙද හා නැකැත් පොත 22.5 6.3 0.6 672 78 සරල දැව කම්බයකි. දෙවන පත්ඉරුවේ විවිධ රූප ඇද ඇත.තරමක් පත්ඉරු දුර්වර්ණ වි ඇත.
50 බණදහම් පොත 49.5 6.5 3 81 කම්බය රහිතය. සිංහල බැඳිි අක්ෂරයෙන් රචනා කර ඇත. පත්ඉරු දුර්වර්ණ වී දිරාපත්ව ඇත.
51 සුත‍්‍ර දේශනා හා නැකැත් පොත 47.5 6.5 4 132 පාලි සහ සිංහල භාෂාවෙන් රචනා කර ඇත. කම්බය රහිතය. පත්ඉරු දුර්වර්ණ වී ඇත.
52 ජාතක පොත 48.5 9.5 4 50 ඇම්.ධර්මරත්න මහතා විසින් ලියන ලද බව සඳහන්ය. බැඳි සිංහල අක්ෂරයෙන් ලියා ඇත. දැව කම්බය ලාක්ෂා සැරසිලි මොස්තර සහිතය.
53 නැකැත් පොත 48 4.8 2 53 පද්‍ය ශෛලියෙන් ලියා ඇත. කම්බය රහිතය. පත්ඉරු දුර්වර්ණ වී ඇත.
54 මහා සතිපට්ඨාන සුත‍්‍රය 50 6 5.8 පාලි භාෂාවෙන් රචනා කර ඇත. පිත්තල සකියාවකින් යුත් සරල දැව කම්බයක් සහිතය.
55 සතිපට්ඨාන සුත‍්‍රය 52 6.5 4 612 64 පාලි භාෂාවෙන් රචනා කර ඇත. පිත්තල සකියාවකින් යුත් සරල දැව කම්බයක් සහිතය.
56 ජාතක පොත 43.3 6 8 2.954 560 පාලි භාෂාවෙන් රචනා කර ඇත. පිත්තල සකියාවකින් යුත් සරල දැව කම්බයක් සහිතය.

 

--------------------------------------------------------------------------------------------------------

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.07.24 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

--------------------------------------------------------------------------------------------------------

 

පුරාවිද්‍යා ආඥා පනතේ උපයෝගීතාව

ගම්පොළ විජය හිමි

පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය.

පූජ්‍ය ගම්පොළ විජය හිමි

හැඳින්වීම

යම්කිසි රටක පොදු වූ අනන්‍යතාවක් ලෙස එම රටෙහි පුරාවස්තු හැඳින්විය හැකි ය. මෙම පුරාවස්තු කෙබඳු ආකාරයෙන් ආරක්ෂා කළ යුතු ද යන්න සෑම රටකටම පොදු වූ නීතිරීති ඔස්සේ පෙන්වා දෙනු ලැබේ. අප රටෙහි එබඳු පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා යොදාගනු ලබන නිතීරීතී පද්ධතියක් දැකිය හැකි අතර එලෙස එම නීතීරීතී අන්තර්ගත ප්‍රකාශනය වනුයේ පුරාවිද්‍යා ආඥා පනතයි. මෙම පුරාවිද්‍යා ආඥා පනත කෙබඳු ලෙසකින් පුරාවස්තු ආරක්ෂාව සඳහා හේතු සාධක වන්නේ ද සොයා බැලිය යුතු ය. මේ අනුව පුරාවිද්‍යා ආඥා පනතේ ක්‍රියාකාරිත්වය හා ඒ තුළින් කෙබඳු ආකාරයට පුරාවස්තු විනාශය අවම කර ගැනීමට හේතු වන්නේද යන්න සොයා බැලීම මෙහි මූලික අරමුණ වන්නේ ය.

පුරාවස්තුවක් යනු කුමක් ද?

පුරාවස්තුවක් යන්න නිර්වචන කිරීමට බොහෝ අර්ථකථනයන් දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අඥා පනතට (1940) අනුව පුරාවස්තුවක් යනු “පුරාවස්තුවක් යනු 1815 ට පෙර නිර්මාණය කරන ලද කිසියම් වූ ගොඩනැඟිල්ලක්, යම් ලෙස රැගෙන යා හැකි වස්තුවක් හෝ සංස්කෘතික අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100කට වඩා වැඩි යම් ස්මාරයකි“.  නමුත් පුරාවස්තුවක් යන්න Oxford ශබ්දකෝෂයට අනුව මේබඳු අර්ථයක් ගනු ලැබේ.   “Antiquities are things such as building, statues, or coins that were made in ancient times and have survived to the present day” පුරාවස්තුවක් යනු අතීතයේ සාදන ලද යම් ගොඩනැඟිල්ලක්, පිළිමයක්, කාසියක් වැනි යම් දෙයක් වර්තමානය තෙක් විනාශ නොවී පවතින දේවල්ය. මේ අනුව පුරාවස්තුවක් යන්න නිර්වචනය කිරීමට බොහෝ අර්ථ විග්‍රයන් දැකගත හැක්කා සේම එවායේ විවිධත්වයක් ද දැකිය හැකි ය. පුරාවස්තුවක් යනු අතීත මානවයාගේ හැසිරීම් රටාව හා සංස්කෘතිය පිළිබඳ සාධක සහිතව ඔප්පු කරනු ලබන අතීත මානව අවශේෂයකි. මෙහි දී පුරාවස්තුවක් හේතු කොට ගෙන ඉතිහාසය වෙනසට බඳුන් කළ හැක්කා සේම මානව ඉතිහාසයේ ඉදිරි පිම්මක්ද තැබිය හැකි ය. යම් රටක අන්‍යනයතා ලක්ෂණයක් ලෙස පුරාවස්තු පෙන්වා දීමට හැකි ය. එබඳු වූ පුරාවස්තුන් ආරක්ෂාකර ගැනීම සියලු දේනාගේ ම වගකීමක් සේම යුතුකමක්ද වන්නේ ය. මෙම පුරාවස්තු ආරක්ෂා කරගැනීමට යම් යම් වූ නීතිරීතී මාලවක් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි අතර එම නීතිරීති අඩංගු ලියකියවිල්ල පුරාවස්තු අඥාපනත (Antiquities Ordinance) ලෙස හඳුන්වනු ලැබේ.

පුරාවිද්‍යා ආඥා  පනත යනු කුමක්ද?

පුරාවස්තුවක් යනු අතීත මානවයා පිළිබඳ හා ඔහුගේ සංස්කෘතිය පිළිබඳ සොයා බලනු ලබන නිර්දේශනාත්මක සාධකයකි. මේ අනුව ලංකාවේ ඒ අතීත පුරාවස්තූන් ආරක්ෂා කරගැනීම හා වඩාත් උචිත ආකාරයෙන් පුරාවස්තු සුරක්ෂිත කිරීම සඳහා යොදාගන්නා ආඥාපනත පුරාවිද්‍යා අඥාපනත නම් වේ. මෙම ආඥාපතන 1940 ජූලි 15 වැනි දින ගැසට් කරන ලදී. මෙම පුරාවස්තු ආඥා පනත කිහිප වරක්ම සංශෝදනය වූ අතර මූලික වශයෙන් 1956, 1963, 1998 හා 2005 ආදී වශයෙන් සංශෝධනයන් සිදු වී තිබේ. මෙම පනත ආරම්භ වීමත් සමඟ මෙතෙක් කළ පැවැති පුරාවස්තු විනාශයට යම් ලෙසකට බලපෑමක් සිදු විය. මෙම කාලවකවානුව හා ඊට පෙර පුරාවස්තු විකිණීම, පුරාවස්තු විනාශ කිරීම, අනවසර ආකාරයට පුරාවස්තු අත්පත් කරගැනීම, නීතිවිරෝධී ආකාරයට පුරාවස්තු විදේශිය රටවල් වලට විකිණීම, කිසිදු අවසරයකින් තොරව සිදු කළ කැනීම් හා පුරාවස්තු ගොඩගැනීම් ආදී වූ කරුණු යම් තරමක් අඩු කිරීමට මෙම පුරාවස්තු අඥා පනත වැදගත් විය. මෙම කාල වකවානුව තුළ බොහෝ විට යටත්විජිත පාලනයක් තිබූ බැවින් බොහෝ පුරාවස්තු යටත් විජිත පාලකයන් රැගෙන යන ලදී. එලෙස රැගෙන ගිය සහ කොළඹ කෞතුකාගාරය තුළින් හා විවිධ ස්ථානවලින් නැතිවී ගිය පුරා වස්තු කිහිපයක් පහත ආකාරයට පෙන්වා දිය හැකි ය.

  • අනුමානය අනුව ලක්දිවින් රැගෙන ගිය තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන්ගේ දේහය
  • ලංකාවේ මුල්කිරිගල විහාරයේ සිතුවමක්
  • පොළොන්නරු යුගයට අයත් තාරා දෙවඟන පිළිමයක්
  • 17 සහ 18 වැනි සියවස්වල නුවර යුගයේ විසූ නුගවෙල අධිකාරම්ට අයත් කඩුවක් හා බඳ පටියක්, බස්තමක උඩ කොටසක්
  • 17 සහ 19 වැනි සියවස්වලට අයත් කඩුකස්තාන 10ක්
  • 17 සහ 19 වැනි සියවස්වලට අයත් මුතු අල්වන ලද මුදු කිහිපයක්.
  • ථූපාරාමය හා රුවන්වැලිසෑය අතරමැද තිබූ ගොඩනැගිල්ලක සඳකඩපහන

මෙම පුරාවස්තු හානිය යම් ලෙසකට පුරාවිද්‍යා අඥා පනත පැනවීමත් සමග අඩු වූ නමුත් ඇතැම් තැනක දී දේශපාලන බල අධිකාරිය ඔස්සේ ඇතැම් පුරාවස්තු විදේශගත වීමත් විනාශ වීමත් දැකගත හැකි වේ. පුරාවිද්‍යා අඥා පනතට අනුව බොහෝ පුරා වස්තු ආරක්ෂා විය. නමුත් ඇතැම් තැනක දී මෙම ආඥා පනත තුළ ද යම් යම් දුර්වලතාවන්ද දැකිය හැකි ය. ලංකාවේ 18-19 සියවස්වල සිට මේ දක්වා පුරා වස්තු විනාශය ගැන සොයා බැලීමේ දී ලංකාවේ පුරාවස්තු විනාශන් බොහෝමයක් දැකිය හැකි ය. මේහිදී මූලික වශයෙන් පුරාවස්තු විනාශය පිළිබඳ සොයා බැලීමේ දී  ලංකාව තුළ විවිධ වූ ප්‍රදේශයන්හි  පුරාවස්තු විනාශය දැකිය හැකි ය. ඒ අතර උතුරු, නැගෙනහිර, මධ්‍යම , දකුණ, ඌව අදිී පළාත් මූලික වේ. මෙම පළාත් අනුව සිදු වී ඇති පුරා විද්‍යාත්මක විනාශයන් සොයා බැලීමේ දී මෙම විනාශයන් මූලික කරුණු කිහිපයක් යටතේ පෙන්වා දිය හැකි ය.

  • බුදු පිළිම වලට සිදු කළ හානිය
  • ඓතිහාසික සිද්ධස්ථානවලට සිදු කළ හානිය
  • පුරාවස්තු ගොඩගැනීම
  • ස්තූප විනාශය
  • සෙල්ලිපි හා ගල් කණුවලට සිදු කළ හානි

මෙලෙස ලංකාවේ පුරාවස්තු විනාශය සිදුවන ක්‍රමවේදයන් ඉහත ආකාරයට කෙටියෙන් පෙන්වා දිය හැකි ය. මේ ආකාරයට ලංකාවේ පුරාවස්තු විනාශය පිළිබඳ සොයා බැලිමේ දී  මෑතකාලයේ ලංකාවේ සිදු වී ඇති පුරාවස්තු  විනාශය පිළිබඳ දළ සැකැසමක් මෙලෙස පෙන්වා දිය හැකි ය.

graph
ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය

මේ අනුව බැලිමේ දී පෙනී යන්නේ කොතරම් වූ පුරාවස්තු විනාශයන් සංඛ්‍යාවක් අවුරුද්දෙන් අවුරුද්දට සිදුවෙමින් යන බවකි. කොතරම් නීතීරීතී දැමුවත් මෙලෙස පුරාවස්තු විනාශයක් සිදුවන්නේ පුරාවිද්‍යා ආඥා පනතේ යම් කිසි ලිහිල් වීමක් ද නැති නම් මෙම නීතී වල අඩුපාඩු නිසා ද මේ අනුව ලංකාවේ පුරාවස්තු විනාශය අවම කර ගැනීමට පුරාවිද්‍යා ආඥා පනත කෙබඳු ලෙසින් උපකාරී වේද යන්න සොයා බැලීම මෙහි දී සිදු කළ යුතුයි.

පුරාවිද්‍යා ආඥාපනතේ උපයෝගීතාව

පුරාවස්තු ආඥා පනතේ පළමු කොටසෙන් මූලික වශයෙන් පුරාවස්තුවල අයිතිය, පුරාවස්තුවල වෙළඳ අගය රජය විසින් ගෙවීම, රජයෙන් ගෙවීමක් නොමැතිව පුරාවස්තු කොටස්කර ඛෙදීම පිළිබඳ ගිවිසුම , වෙළඳ අගය හෝ පුරාවස්තු කොටස්කර ඛෙදීම සම්බන්ධයෙන් ආරවුල් (Property in antiquities, Payment by the State of market value of certain antiquities, Dispute as to market value or apportionment of antiquities.) ආදී වශයෙන් මෙම කොටසේ අන්තර්ඝතය කෙටියෙන් පෙන්වා දිය හැකි අතර එහි උපයෝගීතාව කෙබඳු ලෙසින් පුරාවස්තු විනාශය අවම කරගැනීමට හේතු වේද යන්න පහත ලෙසින් විග්‍රහයට බඳුන් කළ හැකි ය. පුරාවිද්‍යා අඥා පනතේ පළමු කොටසේ දෙ වැනි වගන්තිය වන්නේ “යම් පුද්ගලයෙකුට අයිති වූ ඉඩමක හෝ ඉඩමක් මත තිබී යම් පුරාවස්තුවක් හමුවූ පමණින්ම එම පුරාවස්තුව එම තැනත්තාගේ දේපලක් නොවිය යුතු අතර එය එම පුද්ගලයාට අයිති වස්තුවක් වශයෙන් සළකනු නොලැබිය යුතු ය.(No  antiquity  shall,   by  reason only of its being discovered in or upon any land in the ownership of any person, be or be deemed to be the property of such person.) මෙම ප්‍රකාශනයට අනුව පෙනීයන්නේ කෙලින්ම යම් පුරාවස්තුවක් තම ඉඩමක හෝ තමන්ට අයිති ස්ථානයක තිබී හමුවූ විට එම පුරාවස්තු ද ඔහුගේ හෝ ඇයගේ වස්තුවක් නොවන බවයි. මෙහිදිී පුරාවස්තුව කෙරෙහි යම් අයිතියක් මෙම ආඥා පනතට අනුව ඔහුට හිමි විය හැකි ය. මෙහි දී මෙම ප්‍රකාශනයෙන් කවර ආකාරයෙන් පුරා වස්තු විනාශය වැළකෙන්නේ ද යන්න සොයා බැලීමේ දි යම් ලෙසකට තමන්ගේ ස්ථානයෙන් හමුවන වස්තුන් තමන්ගේ වුවහොත් හමුවන ඕනෑම පුරාවස්තුවක් විනාශය කරා ගමන් කරනු ලැබේ. මෙහි දී පුරාවස්තුව හමු වූ පුද්ගලයාට අයිති වූයේ නම් දැනට තිබේන බොහෝ පුරාවස්තු කෞතුකාගාරවල තිඛෙනවා වෙනුවට ගෙවල් වල තිබිය හැකි ය. එසේම හමු වූ පුරාවස්තුව තමන් කැමැති ලෙසට විනාශ කිරීමට ද හේතුවක් වන්නේය. උදාරණයක් වශයෙන් යම් ස්ථානයකින් ෙසල් ලිපියක් හමුවිය හැකි ය. මෙහි දී එම ෙසල් ලිපිය ගල්  කොරියකට අයත් ඉඩමකින් හමු වන්නේ නම් ඔහුට එම වස්තුව අයිති වූ වේ නම් එම ශිලා ලිපිය ඔහු විනාශ කොට කළු ගල් ලෙස විකුණනවා නිසකයි. නමුත් ඉහත පුරාවිද්‍යා ප්‍රකාශය අනුව ඔහුට එම දෙය සිදු කළ නොහැකි ය. නමුත් ඇතැම් අවස්ථාවල මෙම ආඥා පනතේ ප්‍රකාශනයන්ට විරුද්ධව ගොස් ඇතැම් පුරාවස්තු විනාශ වූ අවස්ථා දැකිය හැකි ය. උදාහරණ ලෙස සුගලා බිසවගේ පුවත පෙන්වා දිය හැකි ය. නමුත් ඒ අවස්ථාවට අනුකූලව ඔහු හට දඩුවම් ලැබුණේ ද යන්න නිශ්චිත නොවේ. මේ අනුව ඇතැම් අවස්ථා වල දී දේශපාලනීය වශයෙන්ද යම් යම් ඇඟිලි ගැසීම් දැකිය හැකි ය. මෙම ආඥා පනතේ පළමු කොටසේ දෙ වැනි හා තෙ වැනි ප්‍රකාශන පිළිබඳ සොයා බැලීමේ දී එහි සඳහන් වන්නේ මෙලෙසය “මේ ආඥා පනත ක්‍රියාත්මක වන දිනයේ යම් තැනත්තෙකුට අයිති නොවන, නැතහොත් භාරකරු අධිපති හෝ කළමනාකරු වශයෙන් තැනැත්තකු කෙරෙහි පාලනය පවරා නොමැති සෑම පැරණි ස්මාරකයක් ම සම්පූර්ණ රජයේ දේපළ වශයෙන් සළකනු ලැබේ… භූතලය මතුපිට, ඉන් යටත හෝ ජලය ආශ්‍රිත සැඟ වී ඇති සොයාගෙන නැති සියලු පුරාවස්තු මෙම ආඥා පනතට අනුව රජයේ දේපලක් බව ය.” (Every ancient monument which on the date on which this Ordinance, comes into operation is not owned by any person or the control of which is not vested in any person as trustee, incumbent or manager, shall be deemed to be the absolute property of the State…… All undiscovered antiquities (other than ancient monuments), whether lying on or hidden beneath the surface of the ground or in any river or lake, shall be deemed to be the absolute property of the State, subject to the provisions of this Ordinance.)

මෙහි දී ඉහත ප්‍රකාශයට අනුව මෙම ආඥා පනත ක්‍රියාත්මක වූ දින සිට යම් අයිති කරුවෙකු නැති යම් පුරාවස්තුවක් වේද එය රජයට අයිති බව හඟවයි. මෙහි දී මෙම ප්‍රකාශයෙන් යම් තරමකට පුරාවස්තු ආරක්ෂා වුව ද මෙම ප්‍රකාශය යම් ලෙසකට වෙනසට බඳුන් විය යුතුයි. එසේම මෙහි සඳහන් වන පරිදි පොළවේ හෝ ජලය යට සැගවී ඇති යම් දෙයක් රජයේ දේපළ වශයෙන් ගැසට් කිරීම තුළින් යම් තරමකට පුුරාවස්තු විනාශය අවම කර ගැනීමට හේතු වේ. මෙහි දී ජලය අභන්තරයේ ඇති වස්තු ආරක්ෂා කරගැනීමට ඉතා අගනේ ය. මේ තුළින් යම් ආකාරයට සමුද්‍රගත පුරාවස්තු ආරක්ෂා වනු ලැබේ. නමුත් 1940 ඇති කළ ප්‍රකාශයන් අනුව මෙම ජලාශ්‍රිත පුරාවස්තු සම්බන්ධයෙන් බොහෝ දේවල් නොදක්වා ඇත. නමුත් 1998 දක්වාම නියම ආකාරයට මෙය නිර්වචනය වී නොමැති අතර ඒ කාල වකවානුව තුළ විශේෂයෙන් සමුද්‍ර පුරාවස්තු විනාශය කරා ගමන් ගත්හ. 1940 දශකයේ සිට 60-70 දශකය දක්වා මෙම සමුද්‍ර පුරාවස්තු ගොඩගැනීම හා විනාශය බොහෝ සෙයින් සිදු විය. නමුත් එම කාල වකවානුවේ තිබුන ලිහිල් තත්වය හේතුවෙන් හා සමුද්‍ර පුරාවිද්‍යාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් බොහෝ පුරාවස්තු විනාශය කරා ගමන් ගත්හ. මෙයින් අනතුරුව පුරාවස්තු කොටස්කර ඛෙදීම හා ඒ හා සම්බන්ධ වූ යම් යම් ගැටලුකාරී තත්වයන් පිළිබඳ සොයා බලනු ලබන අතර මෙහි දී ඇතැම් විටක දී පුරාවස්තු සම්බන්ධ වූ යම් යම් ආරවුල් හේතුවෙන් යම් ආකාරයට පුරාවස්තු විනාශට හේතු විය හැකි හෝ පුරාවස්තු අස්ථාන ගතවීමට ද හේතුවක් විය හැකි ය. මෙම ප්‍රඥප්තියේ දෙ වැනි කොටසේ අන්තර්ගතය පිළිබඳ සොයා බැලීමේ දී එහි අඩංගු වනු ලබන්නේ “පුරාවස්තු සොයාගැනීමේ කැනීම්, පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ලත් බලපත්‍රයකින් තොරව කැනීමක් නොකළ යුතු බව, කැනීමක් සඳහා බලපත්‍රයක් ඉල්ලුම් කිරීම, කැනීම සඳහා බලපත්‍රයක්  නිකුත් කිරීම හා ප්‍රතික්ෂේප කිරීම, බලපත්‍රයේ නියමයන්, සොයා ගැනීම පිළිබඳ බලපත්‍ර ලාභියාගේ කාර්යන්, වන්දි නොමැතිව බලපත්‍ර අස්කර ගැනීම, කැනීම් සඳහා වූ බලපත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට හෝ අස්කර ගැනීමට විරුද්ධව අභීයාචනා කිරීම, පාඩු හෝ අලාභ සඳහා වූ හිමිකම් පෑම්වලින් රජය නිදහස් බව

මෙම ප්‍රකාශනයන් එකින් එක ගෙන හැර බැලීමේ දී දෙ වැනි කොටසේ පළමු වගන්තිය ඉතා වැදගත් වේ. මෙම වගන්තියේ අන්තර්ගතට අනුව යම් ආකාරයකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් යම් බලපත්‍රයක් ලබා දුන්නේ නම් පමණක් එයට අනුව කැණීමක් හෝ ගොඩ ගැනීමක් සිදු කළ හැකි ය. මෙහි දී යම් ආකාරයකට පුරාවස්තුවල ආරක්ෂාව පවතින්නේ පුරාවිද්‍යා කොමසාරිස්ගේ අධිකාරීමය ලියකිවිල් මත ය. මෙහි වාසි හා අවාසි යන තත්වයන් දෙකම දැක ගත හැකි ය. වාසිමය තත්වය නම් පුරාවස්තු ගොඩ ගැනීමට ලිඛිත අවසරයක් අවශ්‍ය වන බැවින් එබැවින් ලිඛිත තත්වයක් නොමැතිව කිසිදු ස්ථානයක කැණීමක් හෝ පුරාවස්තු ගොඩ ගැනීමක් සිදු කිරීමට නොහැකි වන නිසා ය. මේ තුළින් පුරාවස්තු වල විනාශය අවම කර ගැනීමට හැකි වේ. මේහි දී යම් නිතීමය රාමුවක් යටතේ ක්‍රියා කිරීමට සිදු වන බැවින් යම් ලෙසකින් පුරාවස්තු ආරක්ෂාවට හා ඉදිරිපැවැත්මට මහත් සේ උපකාරී වේ. මෙහිදී කැනීමක් හෝ පුරාවස්තු ගොඩ ගැනීමට නීතිමය ක්‍රීයාවලියක් ද දැකිය හැකි ය.

කැනීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම පිණිස කෙරෙන සෑම ඉල්ලීමක්ම නිතිමය ආකෘති පත්‍රය මඟින් පුරාවිද්‍යා කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතුය එසේම කැනීම් කිරීමට අදහස් කරනු ලබන ඉඩම් පිළිබඳ සම්පූර්ණ වූත් නිවැරදී වූත් විස්තරයක් ද යෝජිත කැනීමේ ස්වාභාවය හා ප්‍රමාණයද නියම කරනු ලබන වෙනත් විස්තර ද එහි ඇතුළු විය යුතුයි.

මෙම ප්‍රකාශනයට අනුව පුරාවස්තු වල නියම වූ ආරක්ෂාවක් දැක ගත හැකි ය. මෙහිදී සිදු කිරීමට යනු ලබන නීතිමය ආකෘති පත්‍රය යටතේ එම පුරාවස්තුවේ ආරක්ෂාව සාදා ගැනීමට උපකාරී වන්නා සේම කැනීමක් සිදු කිරීමට යනු  ලබන ඉඩම හා ප්‍රමාණය පිළිබඳ මැනවින් දැන ගත හැකි ය. මේ හේතුවෙන් තොරතුරු විමසා බලා එම කැනීම සඳහා අවසර දීමට ද හැකිවන්නේ ය. එසේම එම ප්‍රකාශනයේ සඳහන් කර තිබූ ආකාරයට වඩා යම් ලෙසකින් කැනීම් සිදු කරන්නේ නම් නීතිමය මැදිහත් වීමකට එය උචිත වන්නේ ය. නමුත් මෙහි යම් අවාසි තත්වයක්ද දැකිය හැකි ය. එනම් නීතිමය රාමුව තුළ එම සියලු දේවල් ප්‍රතික්ෂේප කිරීමේ බලය පුරාවිද්‍යා කොමසාරිස්වරයාට සිදු කළ හැකි වීමයි. මෙහි දී යම් ලෙසකට පුරාවිද්‍යා කොමසාරිස්ට අවශ්‍ය වන්නේ නම් තමන් කැමැති පරිදි අවසරයක් නිකුත් කිරීමටද හැකි වන්නේ ය. මෙයින් අනතුරුව පුරාවස්තු ආරක්ෂා වීම සඳහා යොදා ඇති වගන්ති කිහිපයක් 8 වන වගන්තිය යටතේ දැකිය හැකි ය. මෙයින් ඉතා වැදගත් වූ වගන්තියක් ලෙස “කැනීම් සිදු කිරීමට අදහස් කරන ඉඩමේ අයිතිකරු කැනීම් සඳහා අනුමැතිය දී ඇති බව….”  (that the owner of the land where the proposed excavation is to be made has consented to the excavation) මෙම වගන්තිය වැදගත් වනුයේ යම් ලෙසකින් එම ඉඩමේ අයිතිකරුගෙන් කැනීම පිළිබඳ අවසරයක් නොගන්නේ නම් බොහෝ පිරිසකට කැනීමට පමණක් අවසරය ගෙන වෙනත් අයගේ ඉඩම් වල ඉඩම් හිමියාගේ අවසරයකින් තොරව කැනීම් සිදු කිරීමට හැකිවන්නා සේම පුරාවස්තු සඳහා මහත් වූ විනාශයක් සිදු විය හැකි ය. එසේම යම් ලෙසකින් සිදු කරන කැනීම පිළිබඳ පුරාවිද්‍යා කොමසාරිස් වරයා විසින් අනුමත කරන ලද තැනත්තෙකු විසින් අධ්‍යනයට බඳුන් කළ යුතු ය.

ඒ බව 9 වගන්තියේ අනු වගන්ති යටතේ දක්වා තිඛෙන්නේ. “එම පුරාවිද්‍යා කැනීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් අනුමත කරනු ලැබූ යම් තැනත්තෙකු විසින් යෝජිත කැනීම අධීක්ෂණය කිරීම” (The   Supervision   Of   The   Proposed Excavation By Any Person Approved By The Archaeological Commissioner For The Purpose) යනුවෙනි. මෙහි ඇති වාසීදායක තත්වය නම් යම් අධීක්ෂණයක් යටතේ මෙය සිදු වීම තුළින් කැනීම තුළින් හමුවන පුරාවස්තු යම් සුරක්ෂිත තත්වයකට පත් වන්නා සේම පුරාවස්තු අස්ථාන ගත වීමේ ප්‍රවනතාව අඩුවිය හැකි ය. මෙහිදී පුරාවස්තු විනාශය වැනි තත්වයන්ද මග හරවා ගැනීමට හැක්කා සේම පුරාවස්තු ජාතියන්තර වශයෙන් වෙළඳාම සඳහා ගමන් කරන ප්‍රවනතාව ද අඩුකර ගැනීමට මෙම අධීක්ෂණ කටයුත්ත වැදගත් වේ. එසේම කැනීමදිී හමු වූ පුරාවස්තුව පිළිබඳ පුරාවිද්‍යා කොමසාරිස් හැකි ඉක්මනින් වාර්තා සහිතව දැනුවත් කළ යුත්තා සේම කැනීමේ දී හමු වූ සියලුම පුරාවස්තු පිළිබඳ නියමිත වූ වාර්තාමය ආකෘතියක් තිබිය යුතු ය. 10 වැනි වගන්තියේ ඒ බව දක්වා ඇති අතර මෙහිදී ද අවම වූ පුරාවස්තු විනාශයත්, පුරාවස්තු අස්ථාන ගත වීම්වලට ද යම් ආරක්ෂිත තත්වයක් ලෙස පෙන්වා දිය හැකි ය. වාර්තාමය වශයෙන් පුරාවස්තු පිළිබඳ සඳහන් වීම තුළ පුරාවිද්‍යා කොමසාරිස්ට පවා යම් ලෙසකින් පුරාවස්තු බාර දීමෙන් පසු යම් පුරාවස්තුවක් අස්ථාන ගත හෝ නැති වී ගිය හොත් වගකීමට සිදු වේ. එසේම 14 වන වගන්තියේ අන්තර්ගතය තුළින්ද පුරාවස්තු වලට යම් ආරක්ෂාවක් ගෙන දීමට හැකිවන බව පෙන්වා දිය හැකි ය. “කැනීමකින් තොරව යම් පුරාවස්තුවක් හමු වූයේ නම් හැකි ඉක්මනින් ආසන්නයේ සිටින ග්‍රාම නිළධාරියාට වර්තා කොට එම පුරාවස්තුව ඔහු වෙත භාරදෙනු ලබන්නේ නම්  එ් සඳහා කුවිතාන්සියක් ඔහුගෙන් ලබාගත යුතු වේ.” මෙයින්ද පුරාවස්තුවේ ආරක්ෂාව සනිටුහන් කරනු ලැබේ. යම් ලෙසකට මෙම පුරාවස්තුව ග්‍රාම නිළධාරියා වෙත භාර දීමෙන් පසු කුවිතාන්සියක් ලබා නොගත්තා නම් එය පුරාවස්තුව යම් ලෙසකට අස්ථාන ගතවිීමට හේතු වන්නේ නොවේද එසේම එ් තුළින් පුරාවස්තු සොරකමක් වක්‍ර ආකාරයෙන් සිදු විය හැකි ය.

15 වැනි වගන්තියේ බොහෝ කරුණු 6, 10, 14 වැනි වගන්ති යටතේ යම් සම්බන්ධයක් පවතී. 6 වැනි වගන්තියේ සඳහන් වන ආකාරයට යම් පුරාවස්තුවක් හමු වූ තමන්ගේ හෝ අනුන්ගේ ඉඩමක නැවත අවසරයකින් තොරව කැනීම් සිදු කිරීමට නොහැකි අතර එසේ යම් ලෙසකට කැණීම් සිදු කොට යම් පුරාවස්තුවක් ගොඩ ගෙන එය විකිණීම හා එය අන් ලෙසකට මිළ දී ගෙන හෝ අත්කරගෙන සිටින යම් පුද්ගලයෙකු මහේස්ත්‍රවරයා ඉදිරියේ සිදු කරනු ලබන නඩු විභාගයකින් වරද කරුවෙකු වුවහොත් රුපියල් දහසක වැඩි නොවන දඩයකට හා අවුරුදු දෙකකට වඩා වැඩි වූ හිර දඩුවමකට යටත් විය යුතුයි (1940 යේ 15 වගන්තියේ 4 වන අනුවගන්තිය.). නමුත් මෙම වගන්තිය 1998 සංශෝධනයත් සමඟ රුපියල් 50,000 දක්වා එම අගය වැඩි වූ අතර සිර දඩුවම අවම අවුරුදු දෙකක්ද වැඩිම අවුරුදු පහ දක්වා වෙනස් විය. (…fifty thousand rupees or to imprisonment of either description for a term not less than two years and not more than five years or to both such fine and imprisonment). මෙම වෙනස් වීම ඉතා උචිත ආකාරයට සිදු වී ඇති බවක් දැකිය හැකි ය. මෙහි දී පුරාවස්තු ගොඩගැනීම සම්බන්ධ වූ ඉඩමේ හා පුරාවස්තු ගොඩගෙන ලග තබා ගැනීම හෝ මිළ දී ගැනීම වැනි කටයුතු වල යම් අඩුවීමකට මෙම 1998 මැයි 21 වැනි දින සිදු කළ සංශෝදනය ඉතා උචිත වේ. දඩ මුදල් වැඩි වීමත් සිර දඩුවම දික් කිරීමත් හේතුවෙන් යම් ලෙසකට පුරාවස්තු විනාශය අඩුවීමට බලපාන ලබන අතර දඩුවම හා දඩය හේතු කොටගෙන පුරාවස්තු වලට හානි හා ලග තබා ගැනීම හෝ මිළ දී ගැනීමට බිය වන්නේ ය.

6 වැනි වගන්තිය කඩකොට පුරාවස්තු ගොඩ ගැනීමට හෝ හැරීමට බිය වන්නේ ය. මේ සෑම ආකාරයකින්ම පුරාවස්තුවලට ආරක්ෂාව ගෙන දෙන්නා සේම තව තවත් පුරාවස්තු වල ආරක්ෂාව සනිටුහන් වන්නේ ය. අවසර පත්‍රයක් මත මිස ආරක්ෂිත ස්මාරකයන් ප්‍රතිසංස්කරණය කිරීම ආදීය නොකළ යුතු බව 21 වැනි වගන්තියේ දක්වා තිබේ. (... no person shall, except under the authority and in accordance with the conditions of a permit issued by the Archaeological Commissioner . . . . or carry out any work of restoration, repair, alteration or addition in connexion with any protected monument) “පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක අධිකාරිය යටතේ ඇතුළත් වූ ගිවිසුමක් අනුව හැර යම් යම් ආරක්ෂිත ස්මාරකයන් ප්‍රතිසංස්කරණය කිරීමේ අලුත්වැඩියා කිරීමේ වෙනස් කිරීමේ හෝ අතිරේකව ඉදිකිරීමේ යම් කාර්යයක් කිසිම තැනැත්තෙකු විසින් ආරම්භ කිරීම හෝ කරගෙන යෑම නොකළ යුතු ය.” මෙම වගන්තිය ගෙන හැර බැලීමේ දී දැක ගත හැකි කරුණක් වන්නේ පුරාවස්තු ආරක්ෂාව සඳහා මෙම වගන්තිය වක්‍ර ආකාරයෙන් උපයෝගී වන බවකි. යම් ලෙසකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන අධිකාරියකින් තොරව විවිධ පුද්ගලයන් හට සංරක්ෂණය කිරීමට ඉඩ දුන්නා නම් ඒ තුළින් බොහෝ පුරාවස්තු ප්‍රතිසංස්කරණය හෝ අලුත්වැඩියාව තුළින්ම විනාශ වීම ඉඩ ඇති අතර මෙහි දී පුරාවිද්‍යා කොමසාරීස්ගේ අනුදැනුම ඇතිව පුරාණ ස්මාරකයන් ප්‍රතිසංස්කරණයට හෝ අලුත්වැඩියාවට කටයුතු යොදන්නේ නම් එහි දී මනා වූ සංවිධාන බවකින් යුත්ත වන නිසා පුරාවස්තු ප්‍රතිසංස්කරණයේ දී සිදුවන හානීමය තත්වය අවම කර ගැනීමට ද හැකි වන්නේ ය. යම් ලෙසකට පැරණි වලව්වක් වැනි දෙයක් තමන්ට කැමැති පරිදි ප්‍රතිසංස්කරණයට බඳුන් කිරිමට එම වලව්වේ අයිතිකාරයන්ට හැකියාව තිබුණ හෝත් එම වලව්වේ ආයු කාලය එම ප්‍රතිසංස්කරණය තුළින් අඩුවීමට ඉඩ ඇති බැවින් එවැනි හිතුමනාපයට සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණයන් හෝ අලුත්වැඩියාවන් අවම වන්නේ ය. මෙයින් එම ස්මාරකවල පෞරාණික බව සේම ජීවමය ගුණය ද ආරක්ෂා වෙමින් පුරාවස්තුව ද ආරක්ෂා වනු ලැබේ.

ථූපාරාමය හා රුවන්වැලිසෑය අතරමැද තිබූ ගොඩනැගිල්ලක සඳකඩපහන (ඡායාරූපය http://www.adaderana.lk වෙබ් අඩවියෙනි.)

22 වගන්තියේ කරුණු තුළින්ද යම් ලෙසකට පුරාවස්තු ආරක්ෂාවට උපකාරීවන බව පෙන්වා දිය හැකි ය. මෙහි දී පුරාවස්තුවේ ප්‍රතිසංස්කරණයක් කිරීම අනවශ්‍ය හෝ ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රයත්න ගන්නා පුද්ගලයා එම කාර්යය නිසි ලෙස සිදු කිරීමට අපෝසත් වන්නේ ය යන මතයේ සිය අවසර පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට හැකි ය. මේ තුළින්ද යම් ලෙසකින් පුරාවස්තු විනාශය අවම කරගැනීමට හැකි වන්නේ ය. පුරාවිද්‍යා ආඥා පනතේ 24 වන වගන්තිය ද ඉතා වැදගත් වන්නේ ය. (Regulations may be made prohibiting, or restricting subject to the prescribed conditions , the erection of buildings or the carrying on of mining, quarrying, or blasting operations on any land within the prescribed distance of any ancient monument situated on State land or any protected monument.) “රජයේ ඉඩමක පිහිට් යම් පැරණි ස්මාරකයකින් හෝ යම් ආරක්ෂිත ස්මාරකයකින් ඔබ්බේහි නියමිත දුර ප්‍රමාණයක් (මීටර් 400) ඇතුළත යම් ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ, පතල් කැනීමේ, ගල් කැඩිමේ හෝ පිපිරවීමේ කටයුතු පවත්වාගෙන යෑම තහනම් කළ හැකි ය.” මෙම වගන්තිය ද පුරාවස්තු විනාශය සඳහා මහත් වූ පිටිවහලක් ලබා දෙනු ලැබේ. මෙමඟින් යම් පුරාවස්තුවකට හානී ගෙන දෙන ඉදිකිරීමක් හෝ අනෙකුත් ක්‍රියාවන් වැළක්වීමට හැකි ය. මෙහි දී යම් පුරාණ ස්මාරකයක් ඇති ස්ථානයක ආසන්නයේ ගල් කැඩිම හෝ වෙනත් දෙයක් සිදු වන්නේ නම් ඒ තුළින් ඇතිවන දෙදරීම, පිටවන අධික ශබ්දය, වාතයට මුදාහරින අපවිත්‍ර වාතය ආදී වූ දේවල් තුළින් ස්මාරකයට හානී ගෙන දිය හැකි ය. මෙම වගන්තිය තුළින් යම් තරමකට මෙම සිදු වීම් අවම කරගැනීමට හේතුවක් වන්නා සේම පුරාවිද්‍යා ස්මාරකයන් ආරක්ෂා කර ගැනීමට ද හේතු වන්නේ ය. මෙම පුරාවිද්‍යා ආඥා පනතේ වඩාත් පුරාවස්තු ආරක්ෂාවීමට හේතු වන වගන්තියක් ලෙස 31 වැනි වගන්තිය පෙන්වා දිය හැකි ය. “රජයේ ඉඩමක පිහිටි යම් ආරක්ෂිත ස්මාරකයක් හෝ පැරණි ස්මාරකයක් හෝ සිතාමතා ම විනාශ කරන, එයට හානී කරන, එය විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන හෝ යම් තැනත්තන් පන්තියක් විසින් පූජනීය ලෙස හෝ ගෞරවාදරයෙන් හෝ සළකනු ලබන යම් පැරණි ස්මාරකයක් මත . . . . යම් ක්‍රියාවක් කරනු ලබන යම් තැනත්තෙකු වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු ඔහු වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් දහසකට වඩා වැඩි නොවන දඩයකටත් හෝ දෙයාකාරයෙන් එක් ආකාරයකට එක් අවුරුද්දකට නොවැඩි කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩුවම් දෙකටම ඔහු යටත් වන්නේ ය“. මෙය 1940 වගන්තියේ අඩංගු වූ අතර එය 1998 දී සංශෝදනයෙන් දඩමුදල රුපියල් 50,000 දක්වා වැඩි වූ අතර සිරගත කාලය අවුරුදු 2 ත් 5ත් අතර දක්වා වෙනස් වීය. (…  fine not exceeding fifty thousand rupees or to imprisonment of either descripition for a term not less than two years and not exceeding five years or to both such fine and imprisonment). 2005 දී මෙය නැවත සංශෝධනයට බඳුන් වී දඩ මුදල 250,000 දක්වා වර්ධනය විය. මේ අනුව කිහිප වරක්ම සංශෝදනයට බඳුන් වෙමින් පුරාවස්තු වල විනාශය අවම කර ගැනීමට හේතු වූ වත් 1940 සිට 1998 දක්වාම රුපියල් දහසක අවම අගයත් අවුරුද්දක් පමණ වූ සිර දඩුවමත් හේතුවෙන් මෙම කාල වකවානුව දක්වා විශාල ලෙස පුරාවස්තු විනාශ වූ බව පෙන්වා දිය හැකි ය. 1998 දී 31 වැනි වගන්තියේ වෙනස් වීමත් සමඟ මෙම තත්වය යම් අඩු වීමක් දැකගත හැකි වුවත් නැවත නැවත පුරාවස්තු විනාශයන් වැඩි වීමත් හේතුවෙන් නැවත මෙය සංශෝදනයට බඳුන් වූ අතර එහිදී සංශෝදනයේ මුල් කාල වකවානුවේ පුරාවස්තු විනාශය අවම වුවත් සංශෝදනයෙන් වසර කිහිපයකින් නැවත පුරාවස්තු විනාශයන් වැඩි විය. පුරාවිද්‍යා විනාශයන් 2000 න් පසුව ගෙනහැර පෑමේ දී විශාල ලෙස වර්ධනීය තත්වයක් දැකිය හැකි ය. මේ අනුව පුරාවස්තු වල විනාශය අවම කර ගැනීමට මේ බඳු පැනවීම් සිදු කළ ද වර්තමානයේ සිදු වන පුරාවස්තු විනාශයත් සමඟ මෙම දඩුවම හා දඩය සුළු දෙයක් ලෙස හැගී යන අතර පුරාවස්තු වල ආරක්ෂාව සඳහා නව සංශෝදනයන් ගෙන දැක්වීමට ඉදිරියේ කටයුතු කළ යුතු අතර එසේ නොකළ හොත් යම් ලෙසකට ඉදිරි අනාගතයේ මහත් වූ පුරාවස්තු විනාශයකට මුහුණ දීමට සිදු වන්නේ ය. එසේම 32 වගන්තියේ (අ) අනුව “පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක අධිකාරිය යටතේ ඇතුළත් වූ ගිවිසුමක් අනුව හැර යම් යම් ආරක්ෂිත ස්මාරකයන් ප්‍රතිසංස්කරණය කිරීමේ අලුත්වැඩියා කිරීමේ වෙනස් කිරීමේ හෝ අතිරේකව ඉදිකිරීමේ යම් කාර්යයක් කිසිම තැනැත්තෙකු විසින් ආරම්භ කිරීම හෝ කරගෙන යෑම නොකළ යුතුය.” යන කරුණට ද එසේම 32 වගන්තියේ (ආ) අනුව “රජයේ ඉඩමක පිහිට් යම් පැරණි ස්මාරකයකින් හෝ යම් ආරක්ෂිත ස්මාරකයකින් ඔබ්බේහි නියමිත දුර ප්‍රමාණයක්( මීටර් 400) ඇතුළත යම් ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ, පතල් කැනීමේ, ගල් කැඩිමේ හෝ පිපිරවීමේ කටයුතු . . . . ” ආදී වශයෙන් නියෝග කඩ කරමින් සිදු කරන සෑම ක්‍රීයාවකටම ඉහත සංශෝධිත දඩය හා සිරදඩුවම අයත් වන්නේ ය. මේ අනුව යම් ලෙසකට මෙම පැනවීම් ආදී වූ සියල්ලෙන් හැකි තරම් දුරට පුරාවස්තු විනාශය අවම කරගැනීමට හේතු වන්නේ ය.

පුරාවිද්‍යා ප්‍රඥප්තියේ 33 වන වගන්තිය ද පුරාවස්තු විනාශය අවම කර ගැනීමට මහත් උපකාරයක් ගෙනදෙනු ලැබේ. මෙම වගන්තියට අනුව වෙන් කළ පුරාවිද්‍යාත්මක ප්‍රදේශ ගැන සඳහන් කරනු ලැබේ. මෙහි දී පුරාවිද්‍යාත්මක ප්‍රදේශයන් ආරක්ෂා වන පරිදි කටයුතු කළ හැකි ය. යම් ප්‍රදේශයක් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් යැයි හැගී ගිය විට එම ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වශයෙන් වෙන් කිරීමට ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතිය අවශ්‍ය වන අතර යම් ලෙසකට එලෙස අවසරය නොලද්දේ නම් රජයේ ඉඩම් භාර විෂය භාරව සිටින අමැතිවරයා යටතේ අනුමැතිය ඇතිව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ගැසට් පත්‍රයකින් පලකළ නිවේදනයකින් එය අනුමත කරගත හැකි ය. ඉන් අනතුරුව 34 වැනි වගන්තිය දැක්වෙන අතර ඒ තුළින් වෙන්කළ පුරාවිද්‍යාත්මක ප්‍රදේශ ප්‍රසරණය කිරීම ආදීයට ආදාළ වූ නීති රීති පෙන්වා දෙනු ලැබේ. “පුරාවිද්‍යා කොමසාරිස්වරයා හෝ ඔහුගේ විධාන යටතේ හා ඊට අනුකූලව ක්‍රියා කරන තැනත්තෙකු හැර වෙන් කළ පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක යම් කොටසක් වගා කිරීම සඳහා එළිපෙහෙළි කරන්නා වූ හෝ කඩා වෙන් කරන්නා වූ , ඒ බ්ම් කොටස වගා කරන්නා වූ හෝ වෙන්කළ ප්‍රදේශයක යම් ගොඩනැගිල්ලක් හෝ නිර්මාණයක් ඉදි කරන්නා වූ , එහි පිහිටි යම් ගසක් කපා බිම දමන්නේ ද යම් ලෙසකට විනාශ කරන්නේ ද , අන් ලෙසකට කටයුතු සිදු කරන්නේ ද . . . . ” මේ ආදී වූ වැරදි සිදු කරන්නේ ද එබදු පුද්ගලයන්ට 31 වැනි වගන්තියට අනුව දඩය හා දඩුවම් විදීමට සිදු වේ. මෙම වගන්ති වලින්ද යම් ලෙසකට පුරාවස්තු විනාශය හා ඒ හා බැඳුන ප්‍රදේශ ආරක්ෂා කරලීමට ද හේතු වන්නේය. යම් ලෙසකට මෙම වෙන් කළ ප්‍රදේශ සඳහා මෙබදු දඩයක් හා දඩුවමක් ලබා නොදෙන්නේ නම් නිදන් හැරීම, පුරාවස්තු ගොඩ ගැනීම ආදී වූ පුරාවස්තු විනාශයට හේතු වන බොහෝ දෑ සිදු වන්නේ ය. එම නිසා මෙවැනි වපසරියක් තුළ මෙවැනි වගන්ති මෙම පනතට ඇතුළු කිරීම වඩාත් වැදගත් වන්නේ ය.

මෙම වගන්තිවලින් අනතුරුව පුරාවිද්‍යා ආඥා පනතේ දැකිය හැකි තවත් වැදගත් වූ වගන්තියක් ලෙස 36 වැනි වගන්තිය පෙන්වා දිය හැකි ය. මෙම වගන්තිය අනුව බලපත්‍රයක් යටතේ හැර පුරාවස්තු අපනයනය තහනම් කිරීම පිළිබඳ පෙන්වා දෙනු ලැබේ. “පුරාවස්තු කොමසාරිස්වරයා විසින් නියමිත ආකෘති පත්‍රය මඟින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ හැර කිසිම තැනැත්තෙකු විසින් කිසිදු පුරාවස්තුවක් ශ්‍රී ලංකාවෙන් අපනයනය නොකළ යුතුයි…. රෙගු ආඥාපනතේ විධිවිධාන අදාළ කිරීමේ කාර්ය සඳහා පුරාවස්තු වූ කලී ප්‍රඥප්තියක් මඟින් හෝ නිත්‍යනුකූල නියමයන් මඟින් හෝ අපනයනය සීමා කරනු ලැබූ භාණ්ඩ ලෙස සැළකිය යුතුයි. (no person shall, except upon a licence in the prescribed form issued by the archaeological commissioner , export any antiquity form srilanka . . . . ) මෙම වගන්තිය කෙබඳු ලෙසින් ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය අවම කර ගැනීමට හේතු වේදැයි සොයා බැලිය යුතුයි. වර්තමානයේ හා අතීතයේ බොහෝ පුරාවස්තු අස්ථාන ගත වීම හෝ ජාත්‍යන්තර පුරාවස්තු වෙළඳපොළ කරා ගමන් කිරීමට මෙම මෙම ක්‍රියාකාරීත්වයේ දුර්වලතාව හේතු විය. යම් ලෙසකට යම් පුරාවස්තුවක් අපනයනය කිරීමේ දී ඒ පිළිබඳ දැනුවත් වී මෙබඳු අවසරයක් ලබා දීම යුත්ති සහගත දුන්න ද ඇතැම් අවස්ථාවන්හී මෙම වගන්ති වලට පරිබාහිරව පුරාවස්තු අපනයන් සිදු වූ බව අතීතය තුළින් දැක ගත හැකි ය. මෙහි දී මෙම වගන්තිය පුරාවස්තු වල ආරක්ෂාවට වඩා ආනාරක්ෂිත භාවයට හේතු වන කරුණක් වශයෙන් පෙන්වා දිය හැකි ය. රෙගුව හැමවිටකදීම මතක තබාගත යුතු කරුණක් ලෙස පුරාවස්තු අපනයනය භාණ්ඩයක් ලෙස සිමා සහිත බව දැනගත යුතු වන්නේ ය. මෙය බොහෝ විට පුරා වස්තු ජාත්‍යන්තර වෙළඳපොළ කරා ගමන් කිරීම වැළැක්වෙන කරුණක් සේම පුරාවස්තු ආරක්ෂාවට ද හේතුවන කරුණක් ලෙස පෙන්වා දිය හැකි ය. මෙම වගන්තියෙන් අනතුරුව පෙන්වා දෙනු ලබන 37 වැනි වගන්තියේ 1 වැනි අනු වගන්තියට අනුව පුරාවස්තු අපනයනයේ දී පුරාවිද්‍යා කොමසාරිස්වරයාට නියමිත වූ ආකෘති පත්‍රයක් මඟින් ඉදිරිපත් කළ යුතු අතර, අපනයනය කිරීමට බලාපොරොත්තුවන පුරාවස්තු ලයිස්තුව ද එහි ඇතුළත් විය යුතු වන්නේ ය. එසේම යම් ලෙසකට අපනයනය කිරීමට බලාපොරොත්තුවන යම් පුරාවස්තුවක් කොළඹ කෞතුකාගාරය සඳහා හෝ ශ්‍රී ලංකාවේ වෙනත් කෞතුකාගාරයක් සඳහා හෝ අත්කර ගතයුතයි හෝ එම පුරාවස්තුව අන් කරුණක් නිසා සුදුසු නොවේ යැයි පුරාවිද්‍යා කොමසාරිස්වරයා තීරණය කළ හොත් ඒ අනුව 36 වැනි වගන්තියට අනුව බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට හැකි ය. මෙම ප්‍රකාශයන්ට අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ පුරාවස්තු වලට යම් ආරක්ෂිත තත්වයක් දැකිය හැකි බවයි. මෙහි දී අපනයනය කළ යුතු පුරාවස්තු වන්නේ මොනවාද අපනයනය කළ යුතු පුරාවස්තු මොනවාද යන්න පිළිබඳ යම් තත්වයක් දැක ගැනීමට හැකිවන අතර මෙහි දී වඩාත් වටිනා පුරාවස්තු කෞතුකාගාර වෙත අත්පත් කිරීම ඉතා උචිත දෙයකි. මෙලෙස වටිනා පුරාවස්තු යම් ලෙසකින් රටින් පිටව ගියහොත් එය අප රටෙහි ඉදිරි අනාගතයට සේම පුරාවස්තු ආරක්ෂාවට ද මහත් වූ අභියෝගයක් වන්නේ ය. මෙහි දී කිව යුතු කරුණක් වන්නේ ඉතා වටිනා මුල්කිරිගල සිතුවම අප රටෙන් පිටව ගොස් ඇති බවක් අතීතයෙන් දක්නට ලැබේ. මේ ආකාරයෙන් වටිනා පුරාවස්තු රටින් පිටව ගිය හොත් එය කෞතුකාගාර හා එවා නැරඹිමට පැමිණෙන සංචාරකයන්ට සේම රටේ ආර්ථීකයට ද වක්‍ර ලෙස බලපෑමක් එල්ල කරනු නියතයි. මේ හේතුව නිසා නිසි ක්‍රියාදාමයකින් යුක්තව පුරාවස්තු පිළිබඳ අපනයනය හා ඒ හා සම්බන්ධ වූ නීතිරීති තුළින් පුරාවස්තු ආරක්ෂා වන ආකාරයක් දැක ගත හැකි ය. සොයා බැලිය යුතු කරුණක් වන්නේ මෙම සිතුවම කෙසේ අප රටෙන් පිට වී ගොස් ඇති ද කියා. මෙය රේගුවේ අතපසු වීමකින් හෝ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අතපසුවීමකින් ඒ දෙය සිදු වූවාද යන්නයි. වටිනා පුරාවස්තුවක් රටින් පිටව ගොස් හමාර ය. පුරාවස්තු අපනයනය සඳහා අවසර දෙන විට වඩාත් විමසීමකින් යුත්ත ව පුරාවස්තු ලැයිස්තුව මැනවින් අධ්‍යනය කොට අවසර දෙන්නේ නම් මෙවැනි වටිනා පුරාවස්තු මෙලෙස විනාශට බඳුන් නොවෙනු ඇත.

පුරාවිද්‍යා පනතේ 40 වැනි වගන්තියේ 02 වැනි අනු වගන්තියට අනුව පැරණි ස්මාරකවල ලේඛනයක් නිර්මාණය කිරීම (to inventories the archaeology heritage of sri lanka) පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ප්‍රමුඛ කාර්යභාර්යක් වේ. මෙහි දී පුරාවස්තුවලට එය කෙතරම් දුරට සිදු වන විනාශයන් අවම කරගැනීමට හේතු වන්නේ ද යන්න සොයා බැලිය හැකි ය. යම් යම් ඉදිකිරීම් හා අනෙකුත් කටයුතු සිදු කිරීමට යෑමේ දී යම් යම් ප්‍රශ්න කාරී තත්වයන් මගහරවා ගැනීමට මෙම පුරාවස්තු ලේඛනයක් තිබුනේ නම් එය වඩාත් උචිත වන්නේ ය. මෙහි දී සිදු වන වාසි දායක තත්වය නම් පුරාවස්තු ලේඛනයක් තිබේ නම් යම් ඉදිකිරිමක් සිදු කිරීමට යනු ලබන ප්‍රදේශයේ තිඛෙන පුරාවස්තුව හා මෙම ඉදිකිරීම තුළින් සිදුවන හානී දායක තත්වය පරික්ෂා කොට ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හෝ එ පිළිබඳ නිශ්චිත වශයෙන් සොයා බැලීමට ද හැකි වන්නේ ය. නමුත් වර්තමානයේ පවා සාපෙක්ෂ වශයෙන් පුරාවස්තු ලේඛන ගත කිරීමක් දැකගත නොහැකි ය. මෙම හේතුව නිසා බොහෝ පුරාවස්තු විනාශය කරා ගමන් කරන ආකාරයක් දැක ගත හැකි ය. මෙම වගන්තියට අනුව යමින් නිසි ලෙසට පුරාවස්තු ලේඛනයක් සාර්ථක ලෙස ලේඛනගත කොට තිඛෙන්නේ නම් නොදැනුවත්ව සිදු වනු ලබන පුරාවස්තු විනාශය අවම කර ගැනීමට හේතු වන්නේ ය. 40 වැනි වගන්තියේ 3 වැනි අනු වගන්තියට අනුව මෙලෙස ලේඛන ගත කරන්නේ කුමක් නිසා ද යන්න පෙන්වා දෙනු ලබන්නේ මෙලෙසින්ය. (to protect and maintain such archaeological heritage) පුරාවස්තුවල ආරක්ෂාව හා නඩත්තුව උදෙසා මෙම ලේඛනගත කිරීම සිදුකළ යුතු බව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ බලතල අනුව පෙන්වා දෙනු ලැබේ. මෙහි දී 2012 දෙසම්බර් මාසයේ පුරාවස්තු ආරක්ෂිත ස්මාරක ලේඛනයක් නිර්මාණය සිදු කළ බවක් දැකිය හැකි ය. මෙය ලංකාව පුරා විහි දී ඇති පුරාවස්තු සියල්ලම ද යන්න විමසීමට බඳුන් කළ යුතු අතර මෙහි දී යම් තරමකින් පුරාවස්තු විනාශය අවම කරගැනීම සඳහා මෙය ප්‍රමාණවත් වන අතර නමුත් බොහෝ පුරාවස්තු මෙම ආරක්ෂිත ලේඛනයට ඇතුළත් වී ද යන්න සොයාබැලිය යුතු කරුණකි.

40 වැනි වගන්තියේ 6 වැනි අනු වගන්තියට අනුව (to levy an entrance fee where it is considered necessary at selected sites or visitor centers) පුරාවස්තු බැලීමට එන සංචාරකයාගෙන් තොරාගත් කේෂත්‍ර දී හෝ බැලීම් කාමරයේ දී නියමිත ගාස්තු අයකිරීම්ද මැනවින් සිදු විය යුතු ය. මෙලෙස නියමිත වූ ගාස්තු අය කරගැනීම තුළින් පුරාවස්තු වල ආරක්ෂාව සඳහා සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ලැඛෙන ගාස්තුව මඟිනි. මෙහි දී ලැඛෙන ගාස්තුව උපයෝගී කොටගනිමින් මෙම කටයුතු සිදු කිරීමට හැකි වන අතර යම් ලෙසකට මෙම ගාස්තු අය නොකළ හොත් පුරාවස්තු සංරක්ෂණ ආදී වූ කටයුතු සඳහා වෙනම පිරිවැයක් දැරීමට සිදු වනු නිසකයි.

1998 සංශෝදනයට අනුව 43 වැනි වගන්තියේ 2 අනුවගන්තියට අනුව පුරාවස්තු හානී ඇගයිමක් ද සිදු කළ යුතු බව පෙන්වා දෙනු ලැබේ (the director general of archaeology shall cause an impact assessment survey to be undertaken at the expense of the sponsors of such project or scheme to assess the consequence . . . . submit to the minister, his written report recommending subject, objecting to, or recommending subject to such conditions or alterations as may be specified in the report, the proposed project, or scheme, together with an estimate of any such . . . . .). මේ අනුව පෙනී යන්නේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වුණු ව්‍යාපෘතිය පිළිබඳ නිසි සැකැස්මක් පුරාවිද්‍යා කොමසාරිස් වරයාවෙත බාරදිය යුතු වන්නේ ය. මෙහි දී සාමාන්‍ය තොරතුරු, කේෂත්‍රය පිළිබඳ ගවේෂණ, දත්ත ආදී වශයෙන් සෑම පැති කඩක් ඔස්සේ මෙම තොරතුරු ඇතුළත් විය යුතු ය. මෙහි දී යම් ලෙසකට පුරාවස්තු විනාශය හේතු කරගැනීමට සේම යම් පුරාවස්තු කේෂත්‍රයක් හඳුනාගැනීම සඳහා මෙම ඇගයීම් තක්සේරුව ඉතා වටින්නේ ය. පරිපූර්ණ වූ ඇගයීම් වාර්තාවක් තුළ ඇතුළත් විය යුතු කරුණු රාශියක් පෙන්වා දීමට හැකි ය.

  •  මූලික අධ්‍යනය
  • ගවේෂණ සැකසීම හා ක්‍රියාමාර්ග ගැනීම
  • බලැපෑම් තක්සේරු කිරීම
  • බලපෑම් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම
  • සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පසුව සොයා බැලීම

මේ ආකාරයට බලන කළ ඇගයීම තුළින්  මූලීක වශයෙන් පුරාවස්තු වල ආරක්ෂාව සඳහා සෘජු බලපෑමක් සිදු කරනු ලැබේ. පුරාවස්තු ආඥා පනතේ අවසාන කොටසේ නැතහොත් 48 වැනි වගන්ති යටතේ පැරණි ස්මාරක, පුරාවස්තු, පුරාවිද්‍යා කොමසාරිස්වරයා, රජයේ ඉඩම්, ස්මාරක (පු.අ.ප 1940) ආදී වශයෙන් පෙන්වා දී තිබේ. මෙය 1998 වර්ෂයේ යම් සංශෝදනයකට බඳුන් වී තිබේ. මෙහිදී පුරාවිද්‍යා උරුමයන් ගණයට ජලාශ්‍රිත කේෂත්‍ර ද ඇතුළු කරමින් පුරාවිද්‍යා උරුමය විග්‍රහය බඳුන් කොට තිබේ. ,”Archaeological heritage means that part of the material heritage . . . abandoned structures and remains of all kinds (including subterranean and underwater sites) together with all the portable cultural material associated with them ” මේ අනුව පෙනී යන්නේ 1998 වර්ෂයේ ජලාශ්‍රිත කේෂත්‍රයන් හා භූමිගත උරුමයන් පුරාවිද්‍යාත්මක උරුමයන් ගනයට ඇතුළු කළ බවකි. 1940 සිට 1998 යන පුළුල් කාල පරාසය තුළ බොහෝ ජලාශ්‍රිත පුරාවස්තු විනාශයට බඳුන් විය. මෙම කාල සිමාව තුළ නිසි ලෙසට පුරාවිද්‍යා උරුම අර්ථ නොදැක්වීම හේතුවෙන් බොහෝ ජලාශ්‍රිත පුරාවස්තු විනාශට බඳුන් විය. 1998 වර්ෂයේ මේ පිළිබඳ අර්ථ දැක්වීම යම් ලෙසකට ජලාශ්‍රිත පුරාවිද්‍යා කේෂත්‍රයන්හි පුරාවස්තු විනාශය අවම කරගැනීමට හේතු වූ බව පෙන්වා දිය හැකි ය. මෙහි දී Territorial Sea ගැන සඳහන් කර තිබීමත් එසේම ජලාශ්‍රිත පුරාවිද්‍යා කේෂත්‍ර සමබන්ධව මුහුදින් නාවික සැතපුම් 24ක් පමණ මෙම ගණයට අයත් බව පෙන්වා දී තිබේ. මේ අනුව ජලාශ්‍රිත කේෂත්‍ර පිළිබඳ යම් නිශ්චිත වූ විග්‍රයක් සිදු කර ඇති බව දැකිය හැකි ය. එසේම 1940 පුරාවිද්‍යා පනතේ දක්වා තිඛෙන ස්මාරක යන්නට වඩා පුළුල් අර්ථයෙන් 1998 සංශෝධිත පනතේ ඒ බව දක්වා තිබේ. ,  ” monument means any building, or other structure or erection, or any tomb, tumulus or other place of interment, or any other immovable property of a like nature or any part or remains of the same or any other site where the material remains of historic or prehistoric human settlement or activity may be found and includes the site of any monument and such portion of land adjoining such site as may be required for fencing or covering in or otherwise preserving any monument” ස්මාරකයක් යනු ගොඩනැඟිල්ලක්, සැලස්මක්, ඉදිකිරීමක්, යම් ථූපයක්, පස් ගොඩැල්ලක්, යම් මිහිදන් ස්ථානයක්, ස්වාභාවික හෝ ඉතිරි වූ දෙයකින් යුත්ත අචල්‍ය වස්තුවක් හෝ ඓතිහාසික ද්‍රව්‍යාත්මක අවශේෂයන් ඉතිරි වූ කේෂත්‍රයක් හෝ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස හා ක්‍රියාකාරකම් හමු වූ කේෂත්‍රයන් . . . . ආදී වශයෙන් පෙන්වා දෙනු ලැබේ. මෙහි දී පුළුල් වූ වපසරියක් තුළ ස්මාරක යන්න විග්‍රහයට බඳුන් වී තිබේ. මේ අනුව 1998 දී සංශෝධිත පුරාවස්තු ආඥා පනත සඳහා සංශෝදනයන් වගන්ති අනුව 20ක් පමණ සංශෝදනය වී ඇති අතර ඒවා අතර වැදගත්ම සංශෝධනයන් ලෙස පුරාවස්තු, ස්මාරක පිළිබඳ නව අර්ථ කථනයන්, පුරාවස්තු විනාශයන් සම්බන්ධ වූ දඩුවම හා දඩ මුදල වැඩි කිරීම, ආදී වශයෙන් පෙන්වා දිය හැක්කා සේම 1998 දී පුරාවිද්‍යා පනතේ සංශෝධනය වූ ප්‍රධාන වගන්ති ලෙස 1, 2, 3, 15, 16, 31, 32, 39, 40, 43, 44, 46, 47, 48 පෙන්වා දිය හැකි අතර මේවා යටතේ තිඛෙන බොහෝ අනුවගන්ති ද වෙනස් වීමට බඳුන් විය. මේ ආකාරයට පුරාවිද්‍යා පනතේ ඇතුලත් වගන්ති එකින් එකට විග්‍රහ කර බැලීමේ දී දැකගත හැකි කරුණක් වනුයේ ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය අවම කර ගැනීම සඳහා ඉමහත් පිටුවහලක් මෙම ආඥා පනත මඟින් සිදු වන බවකි. පුරාවස්තු ආරක්ෂාවට හා විනාශයට වක්‍ර ලෙසින් හානී පැමිණ වීම සඳහා ඇතැම් වගන්ති ලිහිල් භාවයකින් යුක්ත වන බවක් ද ඇතැම් තැනක දී දැක ගැනීමට හැකි වේ. සාපෙක්ෂ වශයෙන් බලන කළ ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය අවම කර ගැනීමට මෙම පුරාවස්තු පනත මඟින් ලබා දි ඇති නීතීරීතී යම් මට්ටමක තිඛෙන බවක් දැකිය හැකි අතර මෙහි ඇති දුර්වල වගන්ති සොයා බලා තව දුරටත් විධිමත් කරන්නේ නම් ඉදිරි අනාගතයේ විනාශ වීමට ඉඩ ඇති බොහෝ පුරාවස්තු විනාශය අවම කර ගැනීමට මහඟු පිටිවහලක් වනු නිසකයි.

පුරාවිද්‍යා ආඥා පනත කොතරම් දුරට ලංකාවේ පුරාවස්තු විනාශය අවම කර ගැනීමට හේතු වන්නේ ද යන්න පිළිබඳ ඉහත අධ්‍යනය ඔස්සේ යම් දුරකට සොයා බලනු ලැබී ය. මෙහි දී පුරාවිද්‍යා ආඥා පනතේ සංශෝධනයන් හා ඒ සංශෝධනයන්ට අදාළ වූ වෙනස් වීම් තුළින් පුරාවස්තු විනාශය අවම කරගැනීමට කෙබඳු ආකාරයෙන් හේතු විය ද එම සංශෝධනයන් කොතෙක් දුරට වර්තමානයට ගැලපෙනු ලැබේ ද ආදී වූ කරුණු පිළිබඳ යම් ආකාරයකට සොයා බැලීමට ඉහතින් සොයා බැලීමට බඳුන් කරන ලදී. එම බඳුන් කිරීම කෙතරම් දුරකට සාර්ථක වේද යන්නත් සොයා බැලී ය. මූලික වශයෙන් පුරාවිද්‍යා ආඥා පනතට අනුව ශ්‍රී ලංකාවේ පුරාවස්තු අවම කර ගැනීමට හැකි වේද යන්න තවදුරටත් සිතිය යුතු කරුණක් වන්නේ ය.

මූලාශ

  • Oxford ශබ්දකෝෂය
  • ලංකාදීප පුවත්පත “පුරාවස්තු විනාශය” ලිපිය, 2014 ජනවාරී 17
  • http://si.archaeology.lk/sri_lanka_protected_archalogical_monument_list.php
  • http://si.archaeology.lk/video.php
  • පුරාවිද්‍යා ආඥා පනත 1940
  • පුරාවිද්‍යා ආඥා පනත 1998 ( සංශෝධිත )

—————————————————————————————————————————————–

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.07.17 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය. 

—————————————————————————————————————————————–

රෙදිපිළි නිමහම් රටා, මවයි උරුමයක සුපසන් රටා

ආචාර්ය ප‍්‍රියංකා විරාජිනී මැදගෙදර කරුණාරත්න

පේෂකර්ම සහ ඇගළුම් තාක්ෂණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, මොරටු විශ්වවිද්‍යාලය, කටුබැද්ද, මොරටුව.

හැඳින්වීම

ආචාර්ය ප‍්‍රියංකා විරාජිනී මැදගෙදර කරුණාරත්න

රෙදිපිළි නිම්හම් රටා යම් කාල වකවානුවක්, දේශයක්, ජාතියක් මෙන්ම නිශ්චිත අර්ථ රටාවක් දේශපාලනික හා සංස්කෘතියක ප‍්‍රතිබිම්බයකි. එමෙන්ම, රෙදිපිළි සමාජයේ ක‍්‍රමික විකාශය මෙන්ම පරිවර්තන ලක්ෂණ සහිත ගතික ස්වභාවය ද සනිටුහන් කරවන්නකි. රෙදිපිළි වනාහී ද්විමාන හැඩතල සහිත සංස්කෘතික භාණ්ඩයක් වුව ද එය මානව ශරීරය ඇඟලාගත් පසු ත‍්‍රිමාන හැඩතල සහිත සංස්කෘතික භාණ්ඩයක් බවට පත් වේ. එතෙක් අජීවි ද්විමාන හැඩතල ලෙසින් පැවති ඇඳුමට සජීවි බවක් ආරෝපනය වන්නේ එය ඇඟලා සිටින මනුෂ්‍යාට කිසියම් සමාජ මතවාදයක් (ideology) ඇති නිසා ය. මේ නිසා පුද්ගල අභිරුචියන් සමාජ මතවාදයන් මෙන්ම සමාජීය උවමනාවක් ද රෙදිපිළි නිර්මාණයේ දි අතිශයින් බලපාන තීරණාත්මක සාධකයකයෝ වෙති. ශ‍්‍රි ලාංකේය සංස්කෘතිය විනිවිද දැකිය හැකි අනර්ඝ රෙදිපිළි රටා රැසක් විහාර චිත‍්‍ර, මූර්ති සහ කැටයම් මඟින් නිරූපනය කර ඇති ආකාරය අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය අවසාන සමය දක්වා පැහැදිළිව දැකිය හැක. මෙම ස්ථානයන්හි නිරූපිත රෙදිපිළි රටා එකල පැවති සමාජ දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික වටපිටාව මැනවින් ප‍්‍රතිනිර්මාණය කරන මූලාශ‍්‍රයෝ වෙති. මෙම මූලාශ‍්‍ර ගැඹුරින් විග‍්‍රහ කරන කල්හි රෙදිපිළි රටා ක‍්‍රමික වෙනස්වීම් වලට භාජනය වී අඩු හෝ වැඩි වශයෙන් නවතාවකට ලක් වූ බව පැහැදිළි ය. මෙම විලාසිතාවන්ගේ ක‍්‍රමික වෙනස් වීම් වලට හේතු වූ ප‍්‍රබල සාධක ලෙස සමාජ දේශපාලනික, ආගමික සහ ආර්ථික  හේතු හැඳින්විය හැකි ය.

පරියේෂණ ක‍්‍රමවේදය

මෙම පර්යේෂණය සඳහා ප‍්‍රාථමික සහ ද්විතියික මූලාශ‍්‍ර භාවිත කරන ලදි. ප‍්‍රාථමික මූලාශ‍්‍ර අධ්‍යයනයේ දී ප‍්‍රධාන වශයෙන්ම කෝට්ටේ රාජධානියට අයත්, දැනට පර්මනිියේ මියුනික් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත් දළෙන් නිම වූ භාණ්ඩ ලේඛන අංක 1241 යටතේ සඳහන් වන පළමු වැනි මංජුසාව සහ 1242 යටතේ සඳහන් වන දෙ වැනි මංජුසාවේ කැටයම් කර ඇති ලිඛිත සාධක මත අනුමත කරන කෝට්ටේ හත්වන බුවනෙකබාහු (1521-1551) රජ සමයේ සිදු වූවායි සැලකෙන සිද්ධි දාමයක රූසටහන් ගැඹුරු නිරීක්‍ෂණයකට ලක් කරන ලදි. සම කාලීන යුගයට අයත් විහාර, බිතුසිතුවම්, දැව කැටයම් ද නිරීක්‍ෂණය කර ඇත. ද්විතියික මූලාශ‍්‍ර වශයෙන් ලිඛිත සාහිත්‍ය උපයෝගී කරගන්නා ලදි. මුල් කෘති පරිශීලනය මඟින් තත්‍ය තොරතුරු රැස්කර රූපමාධ්‍ය තොරතුරු සමඟ නිබඳ විද්‍යාත්මක සන්සන්දනය තුළින් තොරතුරුවල විශ්වසනීයත්වය ආරක්‍ෂා කර ගන්නා ලදි. කෞතුකාගාර අධ්‍යයනය, ක්‍ෂේත‍්‍ර චාරිකා මඟින් ද දත්ත රැස්කර ගන්නා ලදි.

විමසුම

ශ‍්‍රි ලාංකික රෙදිපිළි රටා අධ්‍යයනයේදි ඓතිහාසික මූලාශ‍්‍රයේ මහගු තොරතුරු රැසක් හෙළිකර දෙයි. එහිදි ‘සළු’ යන වචනය රෙදිපිළි සදහා භාවිත කර ඇත. රාජාණ්ඩු පාලන ක‍්‍රමයත් පැවති එදා සමාජයේ අත්‍යාලංකාර සළුපිළිි වල හිමිකාරිත්වය රාජකීයන් සහ ඔවුන් වටා සිටි ප‍්‍රභූ පැලැන්තිය සතු විය. ඉතා වටිනා අලංකාර රෙදිපිළි වලින් ඔවුන්ගේ ගත අලංකරන ලදී. එසේම රාජකීයයන්  අතර පැවති රාජතාන්ත‍්‍රික දූත මෙහෙවර අතරතුර හොඳහිත පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් තෑගි භාණ්ඩ හුවමාරු කරගන්නා ලදී. මෙම තෑගි අතර වටිනා සළුපිළි තිබූ බව රාජතාන්ත‍්‍රික වාර්තා ප‍්‍රකට කරයි. ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ ඇඳුම් විලාසිතාවේ නව පෙරළියන් සනිටුහන් කරන ලද 15 ශත වර්ෂයේ කෝට්ටේ යුගය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ. පෘතුගීසී පූජකවරයෙකු වූ ක්වේරෝස් ඉන්දියාවේ ගෝවේ ජීවත් වු  අයෙකි. ඔහුගේ   ස්පිරිචුුවල් කොන්ක්වෙස්ට් ඔෆ් සිලෝන් කෘතියේ කෝට්ටේ රජ කළ නව වැනි ධර්මපරාක‍්‍රමබාහු රජතුමාගේ ඇඳුම්පැළඳුම් පිළිබඳ විස්තර කරයි. පෘතුගීසී තානාපතිවරයෙකු රජතුමා හමු වූ මොහොතේ රජතුමා රිදියෙන් නිමකරන ලද රෙද්දක් ඇඟ දවටා සිටි බව (Cloth of Silver) සඳහන් කරයි. එසේම ඔහු රතුපැහැති රූබි මැණික් වලින් සරසණ ලද අගනා පාවහන් යුවලක් පළදා සිටි බවත්, රිදියෙන් නිම කරන ලද සළුව පාවහන් යුවල වැසෙන සේ තිබූ බවත් සඳහන් කරයි. පර්ගියුසන් නැමැති ඉතිහාසඥයා ද ඩිස්කවරි ඔන් සිලෝන් බයි ද පෝචුගීස් ඉන් 1905 නැමැති පරියේෂණ පත‍්‍රිකාවේ සදහන් කරනුයේ මෙම රජතුමා පට සළුවකින් (Silk) යටිකය වසා සිටි බවයි (Cloth like Wise of silken). කෝට්ටේ යුගයේ බිහිවූ සංදේශ කාව්‍ය සහ අනෙකුත් කාව්‍ය මූලාශ‍්‍රයෝ  ද රජතුමා ගේ සළුපිළි පිළිබඳ තොරතුරු සපයයි. පැරකුම්බා සිරිතෙහි 34 වන කවිය සඳහන් වන්නේ,

සිළුමිණි රජ මොහු දෙවටොර පුවළා
සළුමිණි බරදැල් ගවසන       ලකළා
මුළුලොව උසුලන රන්ටැම්     යුවළා
ලෙළුමෙන් දනමන පිනවයි   නොවළා

රජතුමාගේ ද වටොර මිණි හාරජාලයෙන් (මැණික් අල්ලා අලංකෘත වූ) අලංකෘත වු ශාටකයකින් ගවසාගෙන සිටි බවයි. එම කාව්‍යයේ ම 151 වෙනි පද්‍යයෙන් කියවෙන්නේ රජතුමා උතුරුසළු පොටකින් ඇඟ දවටා සිටි බවකි.

නිමල් බරණ ගත සරසා සකස් කොට
තුමුල් උතුරු පට සළුවෙන එකැස් කොට
කමල් සදිසි අත් ලෙලවා උසස් කොට
විපුල් වෙවැදි තෙපලත් තුති වෙසෙස් කොට

එසේම රජතුමාගේ ගත අලංකාර කරන ලද්දේ ඉතා පිරිසිදු උතුරුසළු පොටකින් බව ද සඳහන් වෙයි.

රුසිරු සිරුරු නන් බරණින් සරසාගෙන
විමලි උතුරු සළුපොට කර දමාගෙන
කියන වැදිගනන් තුරුකැන් පුරාගෙන
පසිදු පඬිවරුන් සිය පිරි වරාගෙන

කාව්‍යශේකරයේ 33 වන පද්‍යයේ සඳහන් වන්නේ රජතුමා මල්කම් වලින් සැරසු සළුවක් හැදිබවයි.

කැටපත් විම නෙතු ලු
වැද රන් මිණි බරණ සළු
වඩමින් මල් සෝළු
පැළඳ එදවස ලෙසකට සුලකුළු

කෝකිල සංදේශයේ (1440-1446) 151 වෙනි කාව්‍ය පංතියේ සඳහන් වන්නේ රජතුමා ඉතා සියුම් පට සළු හැඳි බවකි.

කපුරු සඳුන් මුවමඩල සොඳ සුවඳ එති
රුසිරු සියුම් පටසළු සමගනන් වෙති
වතුරු ලෙසින් ගෙන නන්දෙස නිරිදු නිති
අතුරු නොදී වෙද වෙද එති සිටිති

කෝට්ටේ යුගයේ දී රජවරු දකුණු ඉන්දියාවේ විජයනගර් රාජ්‍ය සමය සමග සමීප සබඳතා පැවැත් වූ බවත් දේවරාය නම් රජු බදු මුදල් ගෙවූ බවත් කොඞ්රින්ටන් නම් ඉතිහාසඥයා විජයනගර් ඇන්ඞ් සිලෝන් නම් පරියේෂණ පත‍්‍රිකාවේ සඳහන් කරයි. මේ නිසා කෝට්ටේ යුගයේ සමාජ සංස්කෘතික වටපිටාව කෙරෙහි විජය නගර් සංස්කෘතික ලක්ෂණ යම් පමණකින් බලපෑම් ඇති කිරීමට සමත් වූ බව කෝට්ටේ යුගයේ රෙදිපිළි අධ්‍යයනයේ දී විශද කරයි. දැනට කොළඹ කෞතුකාගාරයේ සුරක්‍ෂිතව තබා ඇති කෝට්ටේ යුගයේ යැයි නිශ්චිත කලහැකි පෙතිකඩ චිත‍්‍රය රජතුමාගේ ඇඳුම්පැළඳුම් පිළිබඳ නිශ්චිත අදහසක් ජනිත කරයි.

රජතුමාගේ යටිකය වැසු තුප්පොට්ටි රෙද්දේ ඇති වර්ණ සහ වටා විජයනගර් හි ලේපක්‍ෂි ගුහා චිත‍්‍ර අතර හමුවන රෙදිපිළි රටාවලට බොහෝ සමානකම් පෙන්වයි. ලේපක්‍ෂි රෙදිවල බෝඩර රටා අතර ඇති කොටු රටා, ඉරි රටා, මල්කම් සහ වෘත්ත රටා කෝට්ටේ යුගයේ රටා සමඟ සමාන කම් දක්වයි. ගඩොල් රතු පැහැය ප‍්‍රධාන වර්ණය වන අතර ඉන්දිය ඉතිහාසඥවරියක වන ආචාර්ය නිර්මලා කුමාරි පවසන්නේ මෙම රතු පැහැය ගිනි දැල්ලේ රතු පැහැයට සමාන බවයි. සංස්කෘතික භාෂාවෙන් ගඩොලට ‘කවි’ යන්න යෙදෙන බවක් ‘චෙන්ගාවි’  ලෙස රතු පැහැය සඳහා යෙදෙන බව ඇයගේ සෝෂල් ලයිෆ් ඈස් රිෆ්ලෙක්ටඞ් ඉන් ස්කල්ප්චර්ස් ඇන්ඞ් පේන්ටින්ග්ස් ඔෆ් ද ලේට් විජයනගර් පීරියඩ් නම් කෘතියේ සඳහන් වෙයි. වෛජයන්ත තන්ත‍්‍රය නම් ශිල්ප ග‍්‍රන්ථයේ සදහන් වන ආකාරයට රජතුමාගේ අභිෂේකය වනාහි වටිනා රෙදිපිළි පිළිබඳ තතු හෙලිකරන වටිනා ග‍්‍රන්ථයකි. එහි සඳහන් වන පරිදි රජතුමා සුදු පැහැති ඇදුම් පැළදි බව සඳහන් වේ. වෛජයන්ත තන්ත‍්‍රයේ තවදුරටත් සඳහන් වන්නේ රජතුමා ඔටුනු පැළඳවීමේ දී හිස වටා දිග සුදු පැහැති සේද සළුවක් ඔතා හිස මුදුනට වන්නට ගැටයක් දැමූ බවයි. (2001, 262 පද්‍ය 97) මෙම හිස එතූ අභිචාරාත්මක එතුම (wrapping) පිළිබඳ කාව්‍යශේකරයේ ද සඳහන් වෙයි. එහි සඳහන් වන්නේ කෝට්ටේ රජ කළ හය වැනි පරාක‍්‍රමබාහු (1411-1466) රජතුමාගේ මුත්තෙකු වූ සුමිත‍්‍ර නම් කුමරු දේවානම්පියතිස්ස රජතුමා ‘ජයමහලැන‘ නම් තනතුරින් පිදූ බවත්, සුමිත‍්‍ර කුමරු රජුගේ අභිෂේකය අවස්ථාවේ දී, හිස සුදුපැහැති රෙද්දකින් ඔතා සිටි බවත් සඳහන් වෙයි. එහි දිග රියන් 12ක් වශයෙන් දැක් වේ. රජතුමාගේ යටි කය සැරසූ චාරිත‍්‍රානුකූල ඇඳුම රියන් 7-11 දක්වා දිග විය යුතු බව ද එය වම්පස සිට දකුණු පස දක්වා ඉන දැවටිය යුතු බවත් සඳහන් වේ. රජතුමා ධර්ම ශාලාවේ පෙනී සිටින විට පටසළු උත්තර ශාටකටයක් දමා සිටි බව සඳහන් වේ. පැරකුම්බා සිරිතෙහි 60 වැනි පදයෙන් ද සඳහන් වෙන්නේ රජතුමා පටසළු හැදි බවකි. පද්‍ය 151 සඳහන් වන්ෙන් රජුන් හට විදේශීය රජෙකු තෑගි ලෙස ඉතා සියුම් පටසළුවක් තෑගි ලෙස දුන්බවකි. බාබෝසා නම් ඉතිහාසඥයා පේගුවල නිපදවන පටසළු පටෝ්ලා ලෙස නම් කරන බව පෝල් ඊ. පීරිස් මහතා සිලෝන් ද පෝචුගීස් ඊරා නමි කෘතියේ සඳහන් කරයි. ක්වේරෝස්ගේ වාර්ථාවේ සඳහන්වන පරිදි රජතුමා රිදී සළුවක් හැදි සිටි බවත්, චිත‍්‍ර කූට මණ්ඩපයේ රජුගේ රාජාසනය රෙදිපිලි වලින් සහ රනින් නිමකරවන ලද බව සඳහන් වේ.

පෝල් ඊ. පීරිස් මහතා (1992, 38) ද පෝචුගීස් ඊරා නම් කෘතියේ කෝට්ටේ යුගයේ රාජමාලිගාව හෙවත් ‘සුමංගල ප‍්‍රාසාදයේ’ ඉදිරිපස තිබූ චිත‍්‍රකූට මණ්ඩපයේ රාජාසනය ඇත්දලෙන් නිම වූ එකක් බවත් එය වේදිකා හයක් මත තබන ලද්දක් බවත් සඳහන් වේ. එම වේදිකා හය රෙදිවලින් සහ රනින් ආවරණය කර තිබූ බවත් සඳහන් කරයි.

Figure 1 : King Buwanekabahu V11 (1521-1551AD) of Kotte is sitting on a Lion Throne at the Kings Palace Pas mal paya  and  is holding a lotus flower and seated as the Buddhist God king

කෝට්ටේ යුගයේ දී ‘තුප්පෙට්ටි’ නම් රෙදි සඳහා විශේෂයෙන් පැනවූ බදු ක‍්‍රමයක් තිබූ බව පෝල් ඊ. පීරිස්,  ද සිලෝන් ලිටෝරල් නම් කෘතියේ (1949, 47-48) සඳහන් කරයි. කෝට්ටේ යුගයේ විසූ ප‍්‍රභූවරු තුප්පෙටි හැඳි බව අනුමාන කළ හැක්කේ මහනුවර යුගයේ දී ද ප‍්‍රභූ පිරිස ‘තුප්පොට්ටි’ නමින් ඔවුන්ගේ යටිකය ඇඳුම සකස් කර ගත් නිසා ය. තුප්පොට්ටි නමින් හැඳින් වු ප‍්‍රභූන් භාවිත කළ රෙදි වර්ගය පසු කාලීන යුගයේ දී එම රෙද්දෙන් තනාගත් ඇඳුම සඳහා භාවිත කිරීම කාලයත් සමඟ ඇඳුම්පැළඳුම් විකාශය වීමේ එක් පැතිකඩක් ගෙන හැර පායි.

Figure 2 : King Vessanthara of Vesssanthara jathaka story is depicted as King of Kotte in the pictorial narration on cloth painting Reg.no 85.133.1 at the Colombo museum. The lower dress is identified as Thuppottiya   which was much utilized by King Wimaladharmasooriya the 1st King of  Kandyan era
Figure 3 : King Vessanthara is donating white elephant

 

පී. එච්. ෆ්රුඩෙන්බර්ග් රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ පළකරන ලද පර්යේෂණ පත‍්‍රිකාවේ (ජොහැන් ජාකොබ් සා ගේ විස්තරය, 1674-1657 රාජකීය ආසියාතික සංගමය, ශ‍්‍රී ලංකා ශාඛාව 1889, XI, අංක 39 : 233-376) සඳහන් වන්නේ ප‍්‍රභූ පිරිස සුදු පැහැ කැම්බේ (cambay) හෝ මල්කම් සහිත සේද රෙද්දෙන් තැනූ ගවුම් (growns) හෝ සුදු පැහැ කපු රෙදි ඉනවටා දවටා දෙපා අතරින් යවා හැඳ සිටි බවත් ඒවා දිග කලිසම් (breeches) මෙන් දිස් වූ බවත් සඳහන් වේ. කෝට්ටේ යුගයේ අවසාන සමයේ දී එනම් 17 වැනි ශත වර්ෂය ආරම්භයේ දී ඇඳුම් මැසීම සිදුකළ ඇඳුම් මසන්නන් (tailors) සිටි බව පෝල් ඊ. පීරිස් ඔහුගේ (1949) සිලෝන් ලිටෝරල් නම් කෘතියේ පිටු අංක 18 සඳහන් කරයි. එම ඇඳුම් මසන්නන් බදු 8ක් (8 palms) ගෙවිය යුතු බවත් විදානේ යටතේ සේවයේ යෙදිය යුතු බවත් සඳහන් වෙයි. මොවුන්ට ජීවනෝපාය සරිකර ගැනීම සඳහා එක් අමුණක් බැගින් වූ බිම් ප‍්‍රමාණයක් ලබා දුන් බවත් සඳහන් වේ.

කෝට්ටේ යුගයේ දී භාවිත වූ රැජිනියන්ගේ ඇඳුම් සහ රෙදි පිළිබඳව සාහිත්‍ය මූලාශ‍්‍රවල සඳහන් නොවේ. විශේෂයෙන් සංදේශ කාව්‍යයන් ඇතුළු අනෙකුත් කාව්‍ය සංග‍්‍රහයන්ගේ ද මෙම තොරතුරු දක්නට නොලැබේ. නමුත් බ‍්‍රහ්මී කුලීන කාන්තාවන් නිවසින් පිටවන අවස්ථා වල දී සළුවකින් උඩුකය වසාගෙන සිටිය යුතු බව කාව්‍යශේකරයේ 23 වන පද්‍යයෙන් සඳහන් වෙයි.

නොකියා සිටි හිමිට
නැතිව ද උතුරු සළු පොට
ගමන් ඉක්මන් කොට
නොයන් නුඹ වසන ගෙන් පිට

එසේම එම කුලීන කාන්තාවන් කිසිවිටක පෙකනිය නිරාවරණය වන ලෙස ඇඳුම් නොඇඳිය යුතු බවත්, යටිකය වැස්ම පාදයේ විලුඹ දක්වා දික්විය යුතු බවත් සඳහන් වේ. ඇගේ ලැම පෙදෙස සළුවකින් වසාගෙන සිටිය යුතු බව ද සඳහන් වේ.

පෙකනිය නො දක්වා
සළු ඇඳ බොලට දක්වා
නොපව තන සක්වා
සිනානොම සෙන් දසන් දක්වා

කෝට්ටේ රාජ සභාවට නිල වශයෙන් රෙදි සැපයූයේ දෙමළ ජාතික මුක්කුවන්, මුක්කුවා යන නම් වලින් හැඳින් වූ සංක‍්‍රමණික ජන කොට්ටාශයකි. පෝල් ඊ පීිරිස් (1992, 329) සඳහන් කරන්නේ මොවුහු මඩකලපුව ප‍්‍රදේශයේ ‘පලුගම’ ජීවත් වූ බවත් වන්නියර් නම් ප‍්‍රභූන්ගේ ඉඩම් වගා කරගෙන ජීවත් වූ බවකි. එසේම මොවුහු රෙදි විවීම ද කළ බව සඳහන් වේ.

නිගමනය

රෙදිපිළි භාවිතය දියුණු සමාජ ක‍්‍රමයක ප‍්‍රධාන ලක්‍ෂණයකි. එසේම යම් සමාජ ක‍්‍රමයක සමාජ ස්ථරයන්ගේ පැවැත්ම සනිටුහන් කළ සංස්කෘතික මෙවලමක් ලෙස ද රෙදිපිළි භාවිත වූ බව පැහැදිළි ය. සමාජයේ ජීවත්වන විවිධ පුද්ගලයන්ට අදාල පුරුෂාර්ථ (values) ප‍්‍රතිමාන (norms) සහ සමාජ මතවාද (ideologies) ස්ථාපනය කිරීම සහ සමාජගත කිරීමේ යාන්ත‍්‍රනයේ මූලික අංගයක් ලෙස රෙදිපිළි භාවිත වූ ආකාරය විමසා බැලීම කාලෝචිත ය. නූතන යුගයේ ඉතා සීග‍්‍ර ලෙස පුරුෂාර්ථයන් විනාශ වෙමින් පවතින කාලවකවානුවක පහලොස්වන සියවස තරම් වසර 500කට වඩා පැරණි සමාජ සංස්ථාවක් අධ්‍යයනය කිරීම, නව මානයකින් දැකීම, සම්ප‍්‍රදාය ඇසුරින් නව සංකල්ප මත පිහිටා ප‍්‍රායෝගික නිපැයුම් නිෂ්පාදනය කිරීම සහ එමඟින් සමාජ යහපැවැත්ම ගොඩනඟා ගැනීමට හැකි වේ නම් මහඟු කාර්යයක් වන්නේ ය.

පර්යේෂණ ග‍්‍රන්ථ නාමාවලිය

  • Ferguson, Donald (1907), The Discovery of Ceylon by the Portuguese in 1505, Journal of Royal Asiatic Society, Ceylon Branch xix, no.59: 284-400.
  • Freudenberg, P.H. (1889), Johann Jacob Saar’s account of Ceylon 1647- 1657, Journal of Royal Asiatic Society Ceylon Branch XI, No. 39: 233-376.
  • Liyanaarachchi , R. A. (2007), Kavvyashekara Maha Kavvya, Colombo: Samayawardena Printers.
  • Jaffer, Amin & Schwabe, and Melanie (1999), A group of 16TH Century Ivory Caskets from Ceylon, Appllo Art the international magazine of the oriental art, 1-14.
  • Jayasuriya M.H.F. (2001), Vijayantatantra, Colombo: Godage Book Emporium.
  • Kumari, Nirmala. Y. (1995), Social Life as Reflected in Sculptures and Paintings of the Late Vijayanagar Period, Madras: T.R publications Pvt Ltd.
  • Pieris, P.E. (1992), 2nd edition, Ceylon the Portuguese Era, Vol 1, Dehiwala: Thisara Publishers.
  • Pieris, P.E. (1912), The date of King Buwanekabahu VII: Journal of Royal Asiatic Society Ceylon Branch, Vol xxii, No.65: 284-400
  • Pieris, P. E.(1949), The Ceylon Littoral, Colombo: Times of Ceylon Ltd.
  • Pieris, P, E. (1948), Portugal in Ceylon 1505-1658, Colombo: C.A.S press.
  • Paranavithana, Rohini. (1997), Parakumba Siritha, Colombo: Central Cultural Fund.
  • Queyroz, Fr Fernao. de. (1930), The Temporal and Spiritual Conquest of Ceylon, Colombo, (Vol. 2), trans., Fr.S.G. Perera
  • Silva, P.H.D.H. De. (1974), A Catalogue of Antiquities and other Cultural Objects from Sri Lanka Abroad, Colombo: National Museum of Sri Lanka.
  • Rathanasara,Thiranagama. (1955), Ancient Textiles of Ceylon, Ceylon Today IV, No 7/8 ;August pp15-22
  • Wijesooriya, S. (2004), Sinhahala Sandesha Kavya, Kotte: Shabageethwa Sanwardana parshadaya.
-----------------------------------------------------------------------------------------------------------------------------------------

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.07.13 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

-----------------------------------------------------------------------------------------------------------------------------------------

පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රම භාවිතය

ආර්.එම්. අශානි දිලිනි රත්නායක

මානව ශාස්ත‍්‍ර හා සමාජ  විද්‍යා පශ්චාත් උපාධි  ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය.

ashanidilini@gmail.com 

1. හැඳින්වීම

අශානි දිලිනි රත්නායක

පුරාතන සමාජ ආර්ථික රටාවන් තුළ ‘ශ‍්‍රමය’ යන්න සඳහා නිශ්චිත වූ අර්ථ කථනයක් නොසැපයේ. නමුත් මෑත කාලීන මිනිසා හා ඔහුගේ දේශපාලන, සමාජ හා ආර්ථික ක‍්‍රියාදාමයන් පිළිබඳව විවිධ විග‍්‍රහයන් ඉදිරිපත්වීම හා සමගාමීව ‘ශ‍්‍රමය’ පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැඟී ඇත. විද්වතුන් අවධාරණය කරන පරිදි  පුරාතන ලෝකයේ ශ‍්‍රමය හා නිෂ්පාදන කටයුතු පිළිබඳව විග‍්‍රහ කර පැවතියේ දේව-මිත්‍යා කථා ඇසුරිනි. එහි දී ජගත් මාතා දෙවඟන හා පුරුෂ දෙවියා ආදි සංකල්ප භාවිතයට ගත් බව විශ්වාස කෙරේ (ධම්මජෝති හිමි 2002:261).  ශ‍්‍රමය හා ශ‍්‍රම සූරා කෑම පීළිබඳව මෑත කාලිනව යථාර්ථවාදී විග‍්‍රහයක් කරන ලද්දේ කාල් මාක්ස් විසිනි. ඔහුගේ දාර්ශනික අදහස් තුළ ශ‍්‍රමය හා එහි භාවිතාව පිළිබඳ අවධාරණය කර තිබීම තුළින් පැරණි සමාජ ආර්ථික රටාවන් තුළ ශ‍්‍රම භාවිතාව හා සබැඳි සාධාරණ පිළිිවෙතක් නොතිබුණේ ද යන්න පිළිබඳව ගැටළු මතු වේ. එබැවින්, නූතන දෘෂ්ඨි කෝණයන්ට නැඹුරුව පුරාතන ඉන්දීය ආර්ථික ක‍්‍රමය තුළ, ශ‍්‍රමය භාවිතාවට ගත් අයුරු පිළිබඳව විග‍්‍රහ කිරීම සාධාරණ නොවේ. පුරාතන ඉන්දියානු සමාජ ව්‍යුහය, වර්ණ ධර්ම මත පදනම්ව ගොඩනැඟී පැවති සංකීර්ණ ස්වභාවයක් ගත් එකක් වන හෙයින් එකී සමාජයේ ආර්ථික ව්‍යුහය තුළ ශ‍්‍රමය යන්න අර්ථ දැක්වී ඇත්තේ කෙසේ ද, එය භාවිතාවට ගත්තේ කෙබඳු ආකාරයෙන්දැයි ප‍්‍රාථමික හා ද්විතීය මූලාශ‍්‍ර වල අන්තර්ගතයන්  පිළිබඳව අවධානය යොමු කරමින් විමසා බැලීම මෙහි දී සිදු කෙරේ.

2. පුරාතන ඉන්දියානු ආර්ථික ක‍්‍රමය තුළ ශ‍්‍රම භාවිතය

ඉන්දු නිම්න ශිෂ්ටාචාර අවධියේ පටන් ඉන්දීය ජනයා, එහි ආර්ථික ක‍්‍රියා පිළිවෙත් හා සමඟ සම්බන්ධ වන ආකාරය පිළිබඳව විවිධ සාධක දක්නට ලැබේ. වෛදික සාහිත්‍ය, උපනිෂද්, බෞද්ධ හා ජෛන සාහිත්‍ය, රාමායණය, මහා භාරතය සේම මනුස්මෘතිය, කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රය වැනි න්‍යායික ග‍්‍රන්ථ මඟින් ද පුරාණ ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රම  සාධකයෙහි ස්වභාවය හා ඒ හා සබැඳි විවිධ තත්ව පිළිබඳව දක්වා තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාර සමය හා සබැඳි ඓතිහාසික තත්වයන් පිළිබඳව අධ්‍යනය ප‍්‍රධාන වශයෙන් පුරාවිද්‍යාත්මක සාධක මත පදනම්ව සිදුකෙරේ. එම සාධක වලට අනුව හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳව අවධානය යොමු කරන ලද විද්වත්හු, එහි විසූ ප‍්‍රධාන මානව කණ්ඩායම් හතරක් ලෙස පාලකයින්, වෙළෙන්දන්, ශිල්පීන්, ජනතාව හා සේවකයන් යන සිව් කොටස හඳුනාගෙන තිබේ. මෙම සේවකයන්, ශ‍්‍රමිකයන් හෝ වහලුන් විය හැකි බව විද්වතුන්හු දක්වති (ධීරානන්ද හිමි 2004:218). ජෝන් මාර්ෂල් විසින් මොහෙන්ජොදාරෝව ආශි‍්‍රතව සිදු කරන ලද කැනීම් ඇසුරින් අනාවරණය කරගන්නා ලද නටඹුන් අතර විශාල ගෘහයක් තුළ ඇති කුඩා කාමර දක්නට ඇති අතර, මේවා ශ‍්‍රමිකයන් වෙනුවෙන් වෙන්කළ ඒවා වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අදාළ නටඹුන් අතර වැදගත් තැනක් ගන්නා මහා ධාන්‍යාගාරය යැයි හඳුනා ගෙන ඇති ගොඩනැඟිල්ල අසල ඇති කුඩා ගොඩනැඟිලි පෙළ ද වහලුන්ගේ හෝ දාසයන්ගේ විය හැකි බවට මතයකි. මෙකී පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් අදහස් පලකළ W. Ruben හරප්පාවේ වහලුන් වඩාත් යොදාගනු ලැබුවේ ධාන්‍ය වර්ග ඇඹරීමට බව දක්වයි. ඒ අනුව, ඇතැමෙක් ඉන්දු නිම්න ශිෂ්ටාචාර සමයේ පටන් ඉන්දීය සමාජයේ ශ‍්‍රමය භාවිතයට ගන්නා ලද්දේ වහල් ක‍්‍රමයක් මත පදනම්ව යැයි දැක්වීමට උත්සාහ දරා ඇති නමුත් ඒ පිළිබඳව නිශ්චිත සාධක නැත. ගී‍්‍රක හා රෝම ශිෂ්ටාචාරයන් හි අමානුෂික අකාරයෙන් කි‍්‍රයාත්මක වූ වහල් ක‍්‍රමය හා සම තත්වයක් ඉන්දු නිම්න ශිෂ්ටාචාර අවධියේ දි ශ‍්‍රමය භාවිතයට ගත් ආකාරය පිළිබඳව විමසීමේ දී ගම්‍ය නොවේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඇති විශේෂත්වය අවධාරණය කරමින්, ශ‍්‍රමික පිරිස්වල දායකත්වය එහි නිර්මාණකරණයට  හේතු වු බව පැහැදිලි වෙතැයි ද වැටුප් ලත් ශ‍්‍රමිකයන්ගේ හා වහල් ශ‍්‍රමය ද සම කාලීන ශිෂ්ටාචාර වල මෙන් මෙම ශිෂ්ටාචාරය  තුළ ද භාවිතයට ගන්නට ඇතැයි ද විද්වත්හු දක්වති (එම). මින් පසු එළඹෙන ඍග් වේදයෙන් විස්තර කෙරෙන කාල පරාසය තුළ දාස යන වචනය පිළිබඳව පළමු වරට සඳහන්ව තිබේ. මෙහි දී දාස වශයෙන්, ආර්යයන් පළමුවෙන්ම ඉන්දියාව ආක‍්‍රමණය කළ විට ඔවුන්ගේ අණසකට යටත් වූ ජනකායෙන් කෙනෙක් නිරූපණය වෙන බව, බෂාම් දක්වා තිබේ (බෂාම් 1962:198). යුද්ධයෙන් අල්ලාගන්නා ලද හෝ ආර්යයන් විසින් පහත් මානසිකත්වයක් හිමි සතුරන් සේ සැළකු අනාර්යය කොටස් හැදින්වීමෙහිලා ‘දාස’ හා ‘දාසී’ යන ව්‍යවහරයන් භාවිත කර තිබේ. ඒ අනුව දාස යන්න වහලුන් සඳහා භාවිත කිරීමේ ආරම්භය ද ඍග්වේද යුගයේ දී ආරම්භව ඇති බව ප‍්‍රකට වේ. ඍග්වේදයට අනුව කාල වර්ණයෙන් යුත් මෙම පිරිස් ආර්යයන්ට වඩා ශරීර ස්වභාවයෙන් වෙනස් වීම ද මේ තත්වය සඳහා හේතුවී ඇති බව පෙනේ. උක්ත තත්වය ඉන්දීය වහල් මෙහෙයේ ප‍්‍රභවය සිදුවීමෙහිලා බලපෑමක් කරනට ඇතැයි, බෂාම් දක්වා තිබේ (එම). ඒ  අනුව ආර්යය හා අනාර්යය සංකල්පය ඉන්දීය සමාජ ආර්ථික රටාව හා බැඳි ශ‍්‍රම සාධකයෙහි ස්වභාවය හැඩගැස්වීමට බලපැම් කළ අයුරු විද්‍යාමාන වේ. ආර්යයන්ගේ පැමිණීමත් සමඟ උතුරු ඉන්දියාවට යළිත් සංචාරක ක‍්‍රම හා කෘෂි කාර්මික ක‍්‍රම භාවිත කළ සංස්කෘතියකින් නාගරික සංස්කෘතීන් තුළ ඇති වූ විකාශන ක‍්‍රියාවලියක් අත්දැකීමට සිදු වී තිබුණි (තාපර් 1973:23). ආර්යය ගෝත‍්‍ර වඩා ස්ථිර පරිදි ඉන්දියානු ප‍්‍රදේශ තුළ පදිංචි වීම නිසා ඔවුන්ගේ ප‍්‍රධාන ජීවන මාර්ගයක් වූ ගව රංචු පාලනය හා සබැඳි ක‍්‍රියාවලිය, කාෂිකාර්මික කටයුතු දක්වා වර්ධනය වීමකට බඳුන් විය. මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය හා සබැඳි මෙන්ම ඉන් පරිබාහිර වෘත්තීන් කෙරෙහි ඔවුනගේ අවධානය යොමු විය. ඒ අනුව වඩු කාර්මිකයන්, තඹ, ලෝකඩ හා යකඩ භාවිත කරන ලෝහ කම්කරුවෝ, කුඹල් කම්කරුවන්, සම්පදම් කරන්නවුන්, පන් වියන්නන් ආදි විවිධ වෘත්තීන්හි නිරත ශ‍්‍රමිකයන් රැසක් මේ අවධියේ දී ක‍්‍රමයෙන් ඉදිරියට ඒ. රොමිලා තාපර් අවධාරණය කරන පරිදි ඉහත දැක්වූ වෘත්තිකයන් තත් සමාජයේ ගරු කටයුතු පුද්ගලයන් මෙන්ම අත්‍යාවශ්‍ය සාමාජික කොටසක්ව ඇත (එම :24). ඒ අනුව තත්කාලීන සමාජය තුළ එකී වෘත්තීක ශ‍්‍රමය පිළිබඳව පැවති පිළිගැනීම ප‍්‍රකට වේ.

ආර්යයන් මුලින් ඉන්දියාවට පැමිණි විට ඔවුහු, රදළ පන්තිය, පූජකයින් හා සාමාන්‍ය ජනතාව වශයෙන් සමාජ පන්ති තුනකට බෙදී සිටියහ (එම:26). නමුත් වෛදික සාහිත්‍යයේ එන එක් සඳහනක, “මම වන්දි භට්ටයෙක් වෙමි, මා පියා වෙදෙකි. මා මව ඉරිඟු පිටි අඹරයි”, යනුවෙන් සඳහන් වීම තුළ තත්කාලීන ආර්ථික රටාව තුළ කාන්තාවන්ගේ ශ‍්‍රමය භාවිතයට ගැනීම යම් මට්ටමකින් පැවති බවත්, එය එකී සමාජයේ දක්නට පැවති සාමාන්‍ය තත්වයක් වන්නට ඇති බවත් අනුමානය කළ හැක. අථර්ව වේදයේ එන සඳහනකට අනුව, වහල්ලු හා වහල් ළමුන්ගේ ද ශ‍්‍රමය කෘෂිකර්මික ක්ෂේත‍්‍රයේ වැඩකටයුතු සඳහා යොදා ගත් බව කියැ වේ. නමුත් වෛදික යුගයේ වහලුන් ගැන අදහස් දක්වමින් ඩි.ඩි. කෝසම්බි ප‍්‍රකාශ කර ඇත්තේ, “ග‍්‍රීසියේ මෙන් ඉන්දියාවේ දාසත්වය වර්ධනය නොවූ බවත් මීට හේතු වශයෙන් ඔවුන් සතු වූයේ ගෝත‍්‍රික දේපලක් මිස පුද්ගලික දේපලක් නොවන බවත්ය”.

පැරණි ඉන්දියානු සමාජයේ පදනම ක‍්‍රමිකව චතුර් වර්ණ ධර්මයන් මත පදනම්ව සංකීර්ණත්වයට එළඹෙත්ම බ‍්‍රාහ්මණ, ක්ෂ්ත‍්‍රීය, වෛශ්‍ය හා ශුද්‍ර යන පිරිස් වෙත වෙන් වෙන් වූ සමාජ වරප‍්‍රසාද මෙන්ම ඒ හා සමගාමී ආර්ථික ක්ෂේත‍්‍රය හා සම්බන්ධ විය හැකි ඉඩප‍්‍රස්ථාවන්ද වෙන් වෙන් වශයෙන් ස්ථාපිත විය. වර්ණාශ‍්‍රම ධර්මයන් අනුව බ‍්‍රාහ්මණයන් හට ගොවිතැන් කිරීම ආදී රැකියා, ධර්ම ග‍්‍රන්ථවලට අනුකූලව අනුමත වූවක් නොවූ හෙයින් බ‍්‍රාහ්මණයන් හට ඍජුවම ආර්ථිකය හා සම්බන්ධ වීමට පැවති ඉඩ කඩ ඇසිර ගියේ ය. නමුත් ඔවුහු වක‍්‍රාකාරව ඒ හා සම්බන්ධ වෙමින් සිටි ජන කොටස් වල ශ‍්‍රමය භාවිතාවට ගනිමින් කෘෂිකාර්මික කටයුතු මෙහෙය වූ බව ප‍්‍රකට වේ. බ‍්‍රාහ්මණයෝ තමන් සතු විශාල වතුපිටි කුලී ගෙවා හෝ ප‍්‍රවේණි දැසි දසුන් ලවා හෝ ගොවිතැන් කරවා ගත් බව මූලාශ‍්‍ර වල සඳහන්ව තිබේ. එහෙයින් බොහෝ විට තම ශ‍්‍රම දායකත්වය ආර්ථිකය කෙරෙහි ඍජුව ලබා නොදුන් බ‍්‍රාහ්මණ ප‍්‍රජාව තමාගේ මූලිකත්වය මත වෙනත් ශ‍්‍රමිකයන් ලවා වැටුපට හෝ කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන ගිය බව පෙනේ. ඒ අනුව, ක‍්‍රමයෙන් කුලී පදනම මත හා ප‍්‍රවේණී දාසයන් වශයෙන් ආර්ථික ක‍්‍රියාවලින් වෙත ශ‍්‍රමායෝජනය කරනු ලබන ප‍්‍රජාවක වර්ධනය  මේ අවධියේ පටන් ප‍්‍රකට වේ.

සමාජයේ දෙ වැනි පන්තිය වූ පාලන බලය හිමිකරගත් ක්‍ෂ්ත‍්‍රීය වාංශිකයෝ ද ඇතැම් අවස්ථා වල දී වෙළහෙළදාම් කිරීමෙන් හා වෙනත් කර්මාන්තයන්හි යෙදීමෙන් දිවිපෙවෙත රැකගත් බව කියැ වේ. එහෙයින් ක්‍ෂතී‍්‍රයන්ද පුරාතන ඉන්දීය ආර්ථික ක‍්‍රියාවලිය වෙත ශ‍්‍රම දායකත්වය සැපයූ එක් කොටසක්ව ඇත. වාණිජ පන්තිය හෙවත් වෛශ්‍යයන් ඍජු ලෙසම ආර්ථික කාර්යාවලින් මෙහෙය වූ හා ශ‍්‍රම දායකත්වය සැපයූ ප‍්‍රධාන සමාජ කාණ්ඩයක් විය. මනුස්මෘතිය වැනි නියායික ග‍්‍රන්ථයන්හි සඳහන් පරිදි වෙළෙඳාම, ගව පාලනය හා කෘෂිකර්මය වෛශ්‍යයාට නියමිත විය (මනුස්මෘතිය හා මානව ශිෂ්ටාචාරය 2001:10 අධ්‍යාය, 79 පාඨය). ඉතාම පහත් වූ ගණයෙහි ලා සැළකූ ශුද්‍රයෝ මේ අවධිය වනවිට ගොවිතැනෙහි නියුතු විය. එනිසා ගොවිතැන හා පාශු පාලනය හැර වෙනත් නොයෙක් රක්ෂා ද වෛශ්‍යයන්ට අයත් වූ බව මනු පිළිගනිි.

බෂාම් අවධාරණය කරන පරිදි නියම වෛශ්‍යයා, මැණික්, ලෝහ, රෙදි පිළි, නූල් වර්ග, කුළුබඩු, සුවඳ ද්‍රව්‍ය හා වෙනත් වෙළෙද බඩු පිළිබඳව හසල දැනීමක් තිබිය යුත්තෙකි. එහෙයින් පූරාණ ඉන්දියාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෛශ්‍යයන් විසින් නියෝජනය කරන ලද බව ප‍්‍රකට වේ. එහෙයින් වෛශ්‍ය ප‍්‍රජාවගේ ශ‍්‍රමය පුරාතන ඉන්දීය ආර්ථික රාටව තුළ විශේෂත්වයෙහි ලා සැළකු බව පෙනේ. සමාජ පන්තීන් අතර ඉතා පහත් තත්වයෙහිලා ශුද්‍රයින් සැළකීය. බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවලට අනුකූලව ශුද්‍රයින්ගේ ප‍්‍රධාන කාර්යය අනෙක් පන්ති තුනට මෙහෙවර කිරීම ය. එහෙත් ධර්ම ශාස්ත‍්‍ර ග‍්‍රන්ථ වල ඇතැම් අවස්ථාවන් හිදී ශුද්‍රයින් භාණ්ඩ නිපදවීමෙහි හා වෙළදාම්වල නිරත වී සිටි අවස්ථා ගැන සඳහන් වීම නිසා ශුද්‍ර ප‍්‍රජාවගේ ශ‍්‍රමය පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ විවිධ ආකාරයෙන් භාවිතයට ගත් අයුරු විද්‍යමාන වේ.

ඉහත  පසුබිම තුළ ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවස වන විට භාරතයේ කෘෂිකාර්මික හා අර්ධ නාගරික ශිෂ්ටාචාරීය පසුබිමක බුදු දහම පහළ වීමත්, මිනිසා ඇතුළු සියලු සත්වයින් පිළිබඳව ස්ර්ව කාලීන වූ දර්ශනයක් ඉදිරිපත්වීමත් සිදු විය. ඒ අනුව මිනිසා හා ඔහුගේ සමාජ ආර්ථික හා දේශපාලන තත්වයන් පිළිබඳව බෞද්ධ දර්ශනය මඟින් යොමුකරන ලද දෘෂ්ටියට අනුකූලව ධන නිෂ්පාදනය හා සමඟ මිනිස් ශ‍්‍රමය සම්බන්ධ කරමින් උජ්ජකට හා පත්තකම්ම වැනි සූත‍්‍ර දේශනාවක් මඟින් මිනිස් ශ‍්‍රමය භාවිතයට ගත් අයුරු විග‍්‍රහ කර තිබේ. මේ අනුව ශ‍්‍රමය කැප කිරීමෙන් තොරව අධාර්මිකව ලබන ධනය  අයුක්ති සහගත බව අවධාරණය කර තිබේ.

බුදු දහමට අනුව ධන නිෂ්පාදනය පිළිබඳව යම් සීමාවන් පනවා  ඇත. ඊට අනුව ‘ධර්මය හෙවත් යුක්තිසහගතභාවය නොඉක්මවීම’ පිළිබඳ  සංකල්පය නිසා බෞද්ධ ව්‍යාපාරිකයෙකු හට කම්කරුවාගේ ශ‍්‍රමය සූරාකෑමට පැවති ඉඩකඩ ඇහිරේ. එමෙන්ම ආර්ථික ක‍්‍රියාවන් හි දී සූරා කෑම, වංචාව, සොරකම වැනි අකටයුතුකම් මැඩලීමට පාලකයෙකු අනුගමනය කළයුතු ප‍්‍රතිපත්ති මේ සූත‍්‍රයේ වේ. කූටදන්ත සූත‍්‍රයේ් පාලකයෙකු විසින් රටවැසියාගේ ශ‍්‍රමය ලබාගැනීමේ දී එය සිදුවිය යුතු අයුරු අවධානයට ලක්කරයි. දාසයන්ගෙන්, මෙහෙකරුවන්ගෙන් ශ‍්‍රමය ලබාගැනීමේ දී ඔවුනට දඬුවම් දී බියවද්දා හෝ ශ‍්‍රමය ලබා නොගතයුතු බව කූටදන්ත සූත‍්‍රයේ වේ. මෙයාකාර ආගමික උපදේශයන් හෝ නියමයන් හැඩගැස්වීමෙ ලා තත්කාලීන භාරතීය සමාජය තුළ මානව ශ‍්‍රමය හෝ ආර්ථික හෝ වෙනත් ක‍්‍රියාදාමයන් සඳහා පීඩාකාරීව පරිහරණය කරනු ලෑබූ ස්වභාවයක් පැවතීම හේතුවන්නට ඇති බව අනුමාන කළ හැකිය. අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි දැක්වෙන පරිදි, මානව වංශ ඉතිහාසයේ එක් යුගයක සාමූහික ශ‍්‍රමයෙන් නිෂ්පාදන කටයුතු කළ බව ය. ශ‍්‍රම සූරාකෑම පාදක කරගත් ධනවාදී ආකල්ප කිසිදු බෞද්ධ ධර්ම පාඨයකින් සනාථ කළ නොහැකි බව විද්වතුන් අවාධාරණය කර තිබේ (ධම්මජෝති හිමි 2002:263). බුදු දහම සමීපව ඇත්තේ මිනිසා හා මිනිසා අතර ගැටුම් වළක්වන හා සහයෝගීතාව පදනම් කරගත්, යුක්ති සහගත සාධාරණභෝගී නිෂ්පාදන ක‍්‍රමයකි. මෙබඳු ක‍්‍රමයක් යටතේ ශ‍්‍රම සූරාකෑමට ඉඩක් නැත. බෞද්ධ ධර්මයෙන් සමාජයේ නි්ෂ්පාදන ක‍්‍රියාවලිය ඒ ඒ පන්ති සඳහා වෙන්කර නොදැක්වීම මත සෑම දෙනාගේම ශ‍්‍රමය කෙරෙහි සම අවධානයක්, සමාන වටිනාකමක් ලබා දීමට බෞද්ධ දර්ශනය උත්සාහ දරා ඇත්තේ තත්කාලීන අවධිය වන විට ආර්ථික හෝ වෙනත් සමාජ කාර්යාවලීන්හි දී පන්තිමය වශයෙන් බෙදී සිටි සමාජය තුළ එක් එක් කොට්ඨාසය විසින් නිෂ්පාදන කාර්යාවලි වෙත ශ‍්‍රමය සැපයීමේ දි දැඩි පීඩාවකට මෙන්ම සූරාකෑමකට ලක්ව සිටි නිසා බව අනුමාන කළ හැක.

බෞද්ධ ත‍්‍රිපිටකය ඇසුරින් වහල් සංස්ථා හා ඒවාහි ක‍්‍රියාකාරීත්වය පිළිබඳව යම් තත්වයන් විග‍්‍රහකර තිබේ.  ත‍්‍රිපිටිකයේ, ස්වාමියා (master) හෝ ප‍්‍රභූ පුද්ගලයා (noble) හැඳින්වීම පිණිස ආරිය යන්නත් දාස යනු වහල් ශ‍්‍රමිකයා (slave) හැඳින්වීමටත් භාවිත කර තිබේ. දාසි හා දාසිකා, දාසියා යන වචනවලින් වහල් කාන්තාවන් හඳුන්වා ඇත. උක්ත දැක්වූ පරිදි බුද්ධ කාලය වන විට කාර්මික හා කෘෂි කාර්මික මෙන්ම වාණිජ කා්ර්යයන්හි ද වර්ධනයක් ඇති වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ස්වාමි පක්ෂයක් හා ඔවුන්ගේ විවිධ කාර්ය සඳහා දායකත්වය සපයන ශ‍්‍රමික පිරිසක්ද ඉස්මතු විය. එහි දී කුලී ශ‍්‍රමික හා වහල් සේවාවද  විශේෂ විය. ආර්. ෆික් විසින් The Social Organization in North- Eastern India යන ග‍්‍රන්ථයේ අවධාරණය කරන පරිදි මේ අවධියේ සෑම විශාල ඉඩම් හිමියන් යටතේ හා ධනවත් වෙළෙන්දන් යටතේ ද වහලුන් විශාල වශයෙන් සේවයේ නිරත වූ බවට සාක්ෂි ත‍්‍රිපිටකයේ ඇති බව ය. නිදසුන් ලෙස ජාතක සාහිත්‍යට අයත් විදුර පණ්ඩිත ජාතකය, කුලාවක ජාතකය, අසම්පදාන ජාතකය, නන්ද, නානාච්ඡුන්ද, නාම සිද්ධික, කටක, චුල්ල සෙට්ඨි වැනි ජාතක වහල් ශ‍්‍රමිකයින් ගැන වැදගත් තොරතුරු ලබාදේ.

මෙගස්තිනස් වැනි විදේශිකයන්ගේ වාර්තාවල, ‘ඉන්දියාවේ වහලුන් නොමැති බව’ සඳහන් කර තිබේ. මෙගස්තිනිස්ගේ වාර්තා අනුව යමින් ඒරියන් ද දක්වනුයේ ‘සියලු ඉන්දියානුවන් නිදහස් බවත් ඉන් එක් තැනැත්තෙකුවත් වහලකු නොවන බවත්ය’. ඔනෙසි ක‍්‍රීටස්, ස්ට‍්‍රාබෝ වැන්නවුන්ගේ අදහස් ද මේ හා සම බවක් ගනි. මේ පිළිබඳව අවධානය යොමු කරන ලද බෂාම්, ඉන්දියාෙවේ වහලුන් පිළිබඳව මෙගස්තිනිස් දැක් වූ අදහස් අනුව, ඔහු විසින් කරුණු වරදවා අවබෝධ කරගත් බවට සැකයක් නැතැයි පවසයි (බෂාම් 1962:198). මේ අනුව, විද්‍යාමාන වන්නේ මෙගස්තිනීස් වැනි විදේශිකයින් යුරෝපා, සමාජ, ආර්ථික රටාව තුළ අත්දකින ලද වහල් ක‍්‍රමය හා ඉන්දියාවේ ක‍්‍රියාත්මක වූ ක‍්‍රමය තුළ පැහැදිලි වෙනසක් තිබෙන්නට ඇති බවත්, යුරෝපයේ මෙන් තත් අවධිය වන විට වහල් ශ‍්‍රමය පිළිබඳ සංකල්පය දැඩි ලෙස ඉන්දියානු සමාජ, ආර්ථික රටාව තුළ මුල් බැසගෙන නොතිබූ බවත්ය.  ශ‍්‍රමික කණ්ඩායක් වූ වහලුන් වෙත පැවරුණු කාර්යයන් කවරේදැයි විමසීමේ දී, විශේෂ කාර්යක් ඔවුනට වෙන් වූ බව නොපෙනේ. ඔවුන්ගෙන් සමහරකුගේ ශ‍්‍රමය කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ කාර්යයන් සඳහා යෙද වූ අතර ඇතැම් පිරිස් නුපුහුණු කම්කරුවන් ලෙසින් කාර්මික ක්ෂේත‍්‍රයට ද සම්බන්ධව ඇත. ස්වාමිවරුන්ගේ වගා බිම්වල බාර්ලි, වී ආදී භෝග වර්ග වගා කළ අතර එහි සියලුම කාර්යයන් ම පාහේ වහලුන්ගේ ශ‍්‍රමය භාවිතයෙන් කෙරී ඇත.

පුරාතන ඉන්දීය සමාජය තුළ වහල් ශ‍්‍රමිකයින්ගේ ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව විසරණය වෙත්ම ඔවුන්ගේ කාර්යයන් හා සම්බන්ධ නීති රීති පද්ධතියක් ක‍්‍රිස්තු පූර්ව 3 සියවස පමණ වන විට ඉස්මතු වන අයුරු කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රයෙන් විද්‍යාමාන වේ. කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රයේ හැටපස් වන ප‍්‍රකරණය මඟින් දාසයන් හා කම්කරුවන් සම්බන්ධ නීති මාලාවක් හඳුන්වා දී ඇති අතර ඊට අනුකූලව සේවා දායකයා හා සේවාලාභියාගේ තත්වය, ශ‍්‍රමයට උචිත වැටුප් හා සේවාවන් සැපයීම පිළිබඳව තොරතුරු රැසක් දක්වා තිබේ. එහි 27 වැනි ශ්ලෝකයට අනුව ‘කම්කරුවන් තමාගේ වේතනයට අනුව කාර්යය කළ යුතු ය. වේතනය අවිනිශ්චිත නම් ක‍්‍රියා හා කාලය අනුව තීරණය කළ යුතුය’ ( කෞටිල්‍ය ආර්ථ ශාස්ත‍්‍රය 2003:65 ප‍්‍රකරණය, 27-28 ශ්ලෝක).

කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රයේ හැටපස් වන ප‍්‍රකරණයේ 29 වැනි ශ්ලෝකයට අනුව වේතනය නිශ්චිත වූ පසු එයට අනුරූපව වේතනය ගෙවිය යුතු ය. 33 වැනි ශ්ලෝකයට අනුව වේතනය නොගෙවුවහොත් දස වැනි කොටස (දශ බන්ධ) නැතහොත් පණ සයක් දඬුවම් කළ යුතු ය 13 (එම 13-14 කොටස්). මොයාකාරයෙන්  ශ‍්‍රමයට අනුකූල වූ වේතනයක් ශ‍්‍රමිකයන්ට ගෙවිය යුතු බවත්, එසේ නොකිරීම වෙනුවෙන් දඩ ගැසිය යුතු බවත් අර්ථ ශාස්ත‍්‍රයේ අවධාරණය කර ඇති අතර එහි තවදුරටත් සඳහන්ව ඇත්තේ, ‘වේතනය රැගෙන රාජකාරිය නොකරන මෙහෙකරුවාට පණ දොළොසක් දඬුවම් කළ යුතු බව ය’. එමෙන්ම නොහැකියාව, වැඩ කිරීමේ කුසීතකම, රෝගී වීම හා වෙනත් ව්‍යවසනයන් ඇති වුවහොත් නිදහස් විය හැකි ය. ගොවියා පලදාවෙන් හා ව්‍යපාරිකයා වෙළෙඳ කටයුතු වල ආරම්භයේ හා අවසානය අතර තමාගේ කම්කරුවන් අසනීප වුවහොත් කළ කාර්යවලට අනුරූපව හැම කොටසක්ම ඔවුන්ට දිය යුතු ය (එම). ආදී වශයෙන් අර්ථ ශාස්ත‍්‍රයෙහි, නෛතිකමය පසුබිමක් යටතේ ශ‍්‍රමය සංවිධානගත කිරීම හේතුවෙන් ශ‍්‍රමිකයන්ගේ තත්වය මෙන්ම, සේවාලාභීන්ගේ තත්වය යහපත් ස්වභාවයක් උසුලන්නට ඇතැයි සිතිය හැකි ය.

පශ්චාත් මෞර්ය යුගය වන විට වහලුන්ගේ ශ‍්‍රමය යොදාගත් අංශයන්ගේ විවිධත්වයක් දැකිය හැකි බවත්, ස්වාමීන්ගේ වද හිංසා හා කෲරත්වය ද වර්ධනය වීමක් දැකිය හැකි බවත්,  වහලුන්ට පැවති දේපළ හිමිකම් ක‍්‍රමයෙන් අඩු වී යාමක් දක්නට ලැබෙන බවත් විද්වත්හු පවසති (ධීරානන්ද හිමි 2004:235). මනුස්මෘතිය වැනි නියාය ග‍්‍රන්ථ අධ්‍යයනයේ දී මේ තත්වය මනාව ප‍්‍රකට වේ. නිදසුන් වශයෙන් එහි අටවැනි අධ්‍යායේ 215 ශ්ලෝකයට අනුව, ‘කුලියට ගත් යම් සේවකයෙකු ලෙඩක් නොමැතිව අහංකාරකම නිසා තම වැඩ කොටස පොරොන්දුව අනුව ඉටු නොකරයි ද, ඔහුට ‘ක‍්‍රිෂ්නල’ අටක දඩයක් නියම කළ යුතු බව’ දක්වයි.

පුරාතන ඉන්දියාවේ බොහෝ ගොවීන් සතු වූ ඉඩම් විශාල ඒවා නොවූ හෙයින් ඉඩම් හිමියා ඔහුගේ පවුලේ අයගේ ආධාරය ඇතිව ඒවාහි ගොවිතැන් කර තිබේ. කුලීකරුවන් ලවා ගොවිතැන් කරවා ගත යුතු විශාල ගොවිපලවල් කිහිපයක්ද පැවති තිබේ. ප‍්‍රවේණි දාසයන් හා කම්කරුවන් විසින් සේවය කළ යුතු විශාල ගබඩාගම් රජුන් සතුව පැවතුනි. මෞර්ය සමය වන විට කම්කරුවෙකු සඳහා මාසික වේතනය වශයෙන් කෑමබීම ද සහිතව පණ එකකුත් කාලක් ලබාදුන් බව කියැ වේ. ඇතැම් ඉඩම් වගා කිරීම සඳහා අඳ ගොවියන්ටද ලබා දුන් බව සඳහන් වීම නිසා මෙම අවධිය වන විට අඳ ශ‍්‍රමය භාවිතයට පෙළඹ සිටි අයුරු පෙනේ. මේ ක‍්‍රමය යටතේ අඳ ගොවියා අස්වැන්නෙන් භාගයක් ගම්කාරයාට දිය යුතු විය. මෙයාකාර කම්කරු පිරිසක් මෞර්ය යුගයේ සිට හෝ ඇතැම් විට ඊට පූර්ව අවධියෙහි පටන් ගොඩනැඟී පවතින්නට ඇතැයි ද ඔවුන්ගේ තත්වය දුක්ඛිත වුවක් වන්නට ඇතැයි ද බෂාම් අවාධාරණය කර තිබේ.

පැරණි ඉන්දීය කර්මාන්තයේ මූලික ඒකකය වී ඇත්තේ තනිව වැඩකරන කාර්මික ශිල්පියායි. ඔහුට වෙන කෙනෙකුගේ ආධාරයක් ලැබුනේ නම්, ඒ බෝහෝ විට සිය පවුලේ සාමාජිකයන් ගෙනි. එසේ වුව ද ප‍්‍රධාන වැඩකොටසක් කුලී කරුවන් අතින් ඉටු වූ විශාල කර්මාන්ත ශාලා ද පුරාතන ඉන්දියාවේ පැවතී තිබේ. මෞර්ය රාජ්‍යය සතුව මෙයාකාර නූල් කටින හා රෙදි වියන කර්මාන්ත ශාලා පමණක් නොව, අවි ආයුධ මෙන්ම යුධ උපකරණ නිපදවන කම්හල් ද තිබුණු අතර, නියමිත වේතනයක් සහිත කාර්මික මණ්ඩලයක් සහිත කම්හල් ද මේ රාජ්‍ය තුළ පැවත තිබේ. උක්ත තත්ව ගැන අවධානය යොමු කිරීමේ දී මෞර්ය යුගයේදී ආර්ථික ක‍්‍රමය එක්තරා විදියක රාජ්‍යය සමාජවාදයක් (state socialism) දෙසට නැඹුරු වී ගියත් තනිව භාණ්ඩ නිපදවන නිෂ්පාදකයාට හා බෙදාහරින්නාට ද ඒ ක‍්‍රමය තුළ ඉඩක් තිබූ බව ප‍්‍රකට වේ (බෂාම් 1962:282).

බෂාම්ගේ විග‍්‍රහයන්ට අනුව ව්ප්ලවයට පූර්ව අවධියේ රුසියාවේ පැවති අර්ටෙල් නම් ආර්ථික සංවිධානයට සමාන විය හැකි කම්කරුවන්ගේ සමූපකාර කණ්ඩායම් වර්ගයක් පැරණි ඉන්දියාවේ පැවති තිබේ. එය තනිව කටයුතු කරන ශිල්පියාට වඩා විශාල සංවිධානයක් වූ බවත්, මෙම සංවිධානගත වීම හරහා ශ‍්‍රම විභාජනය (Division of labour) සඳහා අනුබල ලැබුණු බවත් අවධාරණය වේ. මෙම සංවිධානගත වීම  හරහා එහි සාමාජිකයන්ගේ ශ‍්‍රමය නෛතික පදනමක් මත භාවිතයට ගන්නට හැකි වූ අතර, එකී එකඟතාවන් කඩ කිරීමක්  සිදු වුවහොත් ඒ සඳහා දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය රෙගුලාසිද නීති ග‍්‍රන්ථ මඟින් සංවිධානය කර තිබුණි (එම). මේ අනුව තත් අවධිය වන විට ඉන්දියානු ආර්ථික සංවිධානය තුළ ශ‍්‍රමය පිළිබඳ යම් රික්තයක් පැවතියේ ද යන්න අනුමාන කළ හැක. මක්නිසාද යත් නීති රෙගුලාසි මත පදනම් වෙමින් ශ‍්‍රමිකයන් එකී ආයතන හා බැඳ ගැනීමට අවශ්‍ය විධිවිධාන සළසා තිබූ බැවිනි.

විෂ්ටි හෙවත් බලෙන්, මුදල් නොගෙවා කරවාගන්නා ලද සේවාවන් ද පුරාතන ඉන්දීය සමාජය තුළ බහුලව  දැකිය හැකි තත්වයක් විය. දුගී ජනතාවට මුදල් වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන් බද්දක් ගෙවීමට නොහැකි විය. එහෙත් ඔවුන් හට රජයෙන් ලැබුණ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් විසින් කිසියම් ගෙවීමක් කළයුතු බව අදහස් විය. මෙය පහසුවෙන්ම කළ හැකි ක‍්‍රමය වූයේ රජයට නොමිලේ සේවය සැපයීමෙනි. එබැවින් මාසයකට දිනක් හෝ දෙකක් ඔවුන් රජයට නොමිලේ වැඩ කළයුතු වීම සාධාරණ ලෙස සැළකුණි. මනුස්මෘතියට අනුව ‘යාන්ත‍්‍රික වැඩ කරන්නන්, චිත‍්‍රකාරයන්, හස්ත කර්මාන්ත කරන ශුද්‍රයන් යන මොවුන් සෑම මාසයකටම එක් දිනක් තම කටයුතු සඳහා (රජු) යෙදවිය යුතු ය’ (මනුස්මෘතිය 2001:07 අධ්‍යාය, 138 ශ්ලෝකය). ගෞතම ධර්ම සූත‍්‍රයට” අනුකූලව එම කාලය තුළදී රජය විසින් ඔවුන්ට ආහාර ලබාදෙන ලදී. මෙම නොගෙවා ලබාගන්නා ලද සේවයේ අයිතිය රජයට හිමිව ඇත්තේ රජයේ නිළධරයින් පිටිසරබද ප‍්‍රදේශවල සංචාරය කරන අවස්ථාවල දී පමණි. මෙය කුඩාගම් වල විසු ජනයාට නම් මහත් දුෂ්කර තත්වයක් වූ බවත්, ඇතැම් ඉන්දියානු රාජ්‍යයන්හි මෑතක් වනතුරු මෙයාකාරයෙන් බලෙන් වැඩෙහි යෙදවීම හා සේවය ලබාගැනීම වැනි තත්ව පැවති  බව පැවසේ. නිදසුනක් ලෙස, ඇතැම් උතුරු ඉන්දීය සෙල්ලිපි මඟින් අනාවරණය කරන පරිදි, බොහෝ විට චාරිකාවේ යෙදෙන නිළධාරින්ගේ භාණ්ඩ කරපිට ගෙනයාමට කම්කරුවන්ට තිබූ වගකීම ද මීට අයත් වන්නට ඇත.

ගුප්ත යුගය ඇසුරින් කරුණු විමසීමේ දී, ඒ අවධියේ සිදු කෙරුණු ඉඩම් ප‍්‍රදානයන් ‘‘ක්ෂේත‍්‍ර ස්වාමී හෙවත් ඉඩම් හිමියා විසින් සිදුකළ යුතු විය. මෙම ක‍්‍රමය තුළ මහීපති, ක්ෂේත‍්‍ර ස්වාමීන්, කර්ෂක හා කුලී කරුවා වශයෙන් අවස්ථා  හතරකින්  සමන්විත පිරිසක් නියෝජනය විය. ඉහත දැක්වූ සිව් පිරිසෙන් හතර වැන්නාගේ තත්වය ගැන නිශ්චිත නොවූවත් මුල් තිදෙනා ගුප්ත යුගයේ සිටි බව විද්වත් මතයයි. මේ අනුව මහීපති හා කර්ෂක අතරට ක්ෂේත‍්‍ර ස්වාමීන් නමින් අතරමැදියෙකු ඒම පැහැදිලි ය. මෙහිදී වැඩවසම් ක‍්‍රමික ලක්ෂණ පුරාතන ඉන්දීය සමාජ ආර්ථික ව්‍යුහය තුළ ක‍්‍රියාත්මක වීමක් ප‍්‍රකට වේ. ඉඩම් වගා නොකළ කල්හි ගොවියාට දඬුවම් කිරීමේ අයිතිය මෙම අතර මැදියාට පැවරීම නිසා ගොවියාගේ තත්වය දුක්ඛිත තත්වයකට පත්ව ඇත. කෘෂිකර්මය හා බැඳි සංස්ථා මෙලෙස සංවිධිතවීම ගැන ක‍්‍රිස්තු වර්ෂ 4 – 6 ආදී කාල පරාසයන්ට අයත් ශිලාලේඛන තුළින්ද විද්‍යාමාන වේ. ඉඩම් ලැබූවන් සඳහා එය වගා කරගැනීමේ හෝ බද්දට වගා කරවා ගැනීමේ අයිතිය පවරා දුන් බවද ප‍්‍රකට වේ. මෙලෙස ඉඩම් හිමිකම් ලැබූවන්ට වගාකළ ගොවීන්ගෙන් ලබාගත හැක්කේ සමුචිත (සාම්ප‍්‍රදායික) බද්දක් පමණක් වුවත් විෂ්ටි හෙවත් බලයෙන් වැඩ ගැනීම සම්බන්ධයෙන් එබඳු තහනමක් නොවී ය (කරුණාදාස 1971:12). මේ හේතුවෙන් ක‍්‍රිස්තු වර්ෂ 7 වන සියවස මැද සිට අවස්ථාවක් ඇතිවූ විට විෂ්ටි හෙවත් බලයෙන් වැඩගන්නට හැකිවීමෙන්, ඉඩම් හිමියන්ට තිබු අයිතිය පැහැදිලි වේ.

මේ ක‍්‍රමය යටතේ ප‍්‍රථමයෙන් ගොවියන්ගේ භාර්යාවන්ගෙනුත්, පසුව ගොවීන්ගෙනුත් මේ ආකාරයට බලයෙන් වැඩ ගැනීමට හැකි විය. මේ නිසා පුරාතන ඉන්දීය ආර්ථික ව්‍යුහය තුළ ශ‍්‍රමය සම්බන්ධයෙන් පූර්ව අවධීන් තුළ ගොඩනැඟී පැවති තරමක් යහපත් තත්වය, මේ නිසා ඇසිර යන්නට අතැයි දැක්වීම නිරවද්‍ය වේ. මක්නිසා ද ශ‍්‍රමිකයන්ගේ පවුල් පිටින් සේවාලාභීන්ගේ ග‍්‍රහණයට හා පීඩාවන්ට නතුවීමට පැවති ඉඩකඩ මේ ක‍්‍රමය යටතේ පුළුල්ව ගිය බැවිනි. නමුත් බලයෙන් වැඩගැනීම යුරෝපයේ තරම් දියුණු ලෙසට ඉන්දීය වැඩවසම් ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක නොවීය (එම). ඒ අනුව පුරාතන ඉන්දීය සමාජය තුළ වැඩවසම් ක‍්‍රමික ලක්ෂණ යුරෝපා ක්ෂේත‍්‍රයන්හි දක්නට ලැබුණු ආකාරයෙන් දැඩි ස්වභාවයක් පළට නොකළ ද, විෂ්ටි ක‍්‍රමය වැනි ක‍්‍රම නිසාවෙන් ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රම භාවිතාවේ ස්වභාවය යහපත් නොවීමෙහි ලා මේ ක‍්‍රමය හේතු සාධක වූ බව පෙනේ. එහෙයින් පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රමය සම්බන්ධව නියායිකව ගොඩනැගි පැවති ආරක්ෂණ මූලධර්මයන් උක්ත හේතු සාධක මත දෙදරා ගිය බව ප‍්‍රකට වේ.

පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ කාන්තා ශ‍්‍රමය භාවිත වූ ආකාරය පිළිබඳව විමසා බැලීමේ දි කුල ස්ත‍්‍රීන්ගේ ශ‍්‍රමය ආර්ථික ක‍්‍රියාදාමය හා සහ සම්බන්ධ කරගත් අයුරු පිළිබඳව විමසා බැලීම වැදගත්ය. මෞර්ය රාජ්‍ය සමයේ දී පවා කුල කතුන්ගේ නිදහස, සමාජ සම්මත සිරිත්විරිත් නිසා සීමාව පැවති බවට සාධක කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය වැනි මූලාශ‍්‍ර  ඇසුරෙන් විද්‍යමාන විය. රජුගේ පේෂකර්ම අධ්‍යක්ෂකට දුන් උපදෙස් අනුව රාජකීය නූල් කැටීමේ හා රෙදි විවීමේ ආයතනවල සේවකයින්, වැන්දඹුවන්, අනාථයින්, හිඟන්නියන්, දඩ ගෙවීමට බැරි නිසා ඒ වෙනුවට වැඩ කිරීමට සිදු වූ ණයගැති ස්ත‍්‍රීන් හා තව දුරටත් තම රක්ෂාව කරගත නොහැකි වෛශ්‍යාවන් ආදී නානා ප‍්‍රකාර දිළිඳු ස්ත‍්‍රීන්ගෙන් සමන්විත විය යුතු යැයි සඳහන් වේ. මේ  සියලු දෙනා පහත් කුලවලට අයත්ය. ඔවුහු පිරිමි කංකානම්වරු යටතේ සේවය කළහ (බෂාම් 1962:235). මේ අනුව ශාරීරික වශයෙන් දුබලතාවන්ට ලක්වූවන්ගේ ශ‍්‍රමය ද ආර්ථික ක‍්‍රියාදාමයන් හා සම්බන්ධකර ගැනීමට කටයුතු කර ඇති අයුරු විද්‍යමාන වේ.  ඉහත දී අවධාරණය කරන ලද ආකාරයට සමාජයේ විසූ අනෙකුත් කාන්තාවන් සේම ඇතැම් අවස්ථාවන්හී දී උසස් කුල කතුන් ද දුෂ්කර කාලපරාසයන් එළඹී කල්හි මෙයාකාරයෙන් රෙදි විවීම හා සමඟ සහ සම්බන්ධ වූ බව ප‍්‍රකට වුව ද, ඔවුහු ඉහත දී අවධානයට ලක්කරන ලද පිරිස් හා එක්ව සිය ශ‍්‍රම දායකත්වය විවෘතව ලබාදීමෙන් වැළකීමට වගබලාගත් අයුරු පෙනේ. සේවිකාවන් තබාගැනීමට තරම් වත්කමක් එකී කාන්තාවන්ට තිබේ නම් ඒ සේවිකාව ලවා පේෂ කර්මාන්තායතනයෙන් නූල් ගෙන්වා රෙදි වියා ඈ ලවාම අපසු යැවිය හැකි ය. එහෙත් එබඳු ශක්‍යතාවක් නොමැති කතුන්ට තම හිරිඔතප් රැකීමට අවශ්‍ය සියලු විධිවිධාන බලධාරීන් විසින් සකස් කර තිබූ බව ප‍්‍රකට වේ. ඒ අනුව පුරාතන ඉන්දියාවේ ආර්ථික ව්‍යුහය තුළ කුල කතුන්ගේ ශ‍්‍රමය භාවිතයට ගැනීමේ දී දැඩි කොන්දේසි වලට යටත්ව එකී ක‍්‍රියාවලිය හැසිරවීමට අධිකාරීන් ක‍්‍රියාකළ අයුරු ප‍්‍රකට වේ. මේ අනුව උසස් කුල කතුන් තම නිෂ්පාදන භාරදීමට හෝ එහි අවශ්‍යතා සඳහා පේෂ කර්මාන්ත ශාලාවට යා යුත්තේ අඳුර පහවෙමින් අරුණෝදය උදාවන විට ය. ඒ, එම කතුන් හඳුනා ගැනීම එවිට දුෂ්කර වන බැවිනි. නිෂ්පාදන පරීක්ෂාකරන නිළධාරියා විසින් පහනක් පමණක් භාවිතයෙන් ඒවා පරීක්ෂා කළයුතු වූ අතර ඔහු ඇගේ මුහුණ දෙස බැලුවහොත් හේ ඈ කළ කාර්ය ගැන හැර වෙනත් යමක් පිළිබඳව කතා කළහොත් පළමු වැනි දණ්ඩනයට ඔහු යටතේ විය යුතු ය. මේ දඩය පණ 48 සිට 90 දක්වා විය හැක (එම : 236). මේ අනුව පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ උසස් කුල කතුන්ගේ ශ‍්‍රමය ද භාවිතයට ගෙන ඇත්තේ දැඩි නීතීන්ට අනුකූල වෙමිනි.

මෙම ඡායාරූපය http://www.asia.si.edu වෙබ් අඩවියෙන් ලබාගන්නා ලද බව කාරුණිකව සලකන්න.

3. නිගමනය

පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රමය භාවිතාවට ගත් ආකාරය පිළිබඳව කරුණු විමසීමේ දි, මුල් අවධියේ පටන් ශ‍්‍රමය නැමැති සාධකයට වැදගත් ස්ථානයක් හිමි වූ බව විද්‍යමාන වේ. එහෙත් ඇතැමෙක් ඉන්දීය ආර්ථික රටාව තුළ ශ‍්‍රමය භාවිතයට ගැනීමේ දී හුදෙක් වහල් ක‍්‍රමික ලක්ෂණවලට අනුගත වෙමින් එය භාවිතාවට ගත් බව දැක්වුව ද එය සාධාරණ නොවේ. යුරෝපා ශිෂ්ටාචාරයේ දී වහල් ක‍්‍රමය එහි ආර්ථිකයේ පදනම වශයෙන් සළකා දැඩි විධිවිධානයන් යටතේ භාවිතයට ගත්ත ද, මුල් කාලීන ඉන්දියාවේ ශ‍්‍රම භාවිතය තුළින් එබඳු ස්වරූපයක් විද්‍යමාන නොවේ.

බෞද්ධ දර්ශනය හා අනෙකුත් ආගමික මතවාද මෙන්ම, කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය, මනුස්මෘතිය වැනි න්‍යායික ග‍්‍රන්ථ මඟින්  ශ‍්‍රමය සාධාරණ ලෙස භාවිතාවට ගන්නා අයුරු හා ඒ සඳහා වේතන ගෙවීමේ පටිපාටීන් මෙන්ම, එකී එකඟතාවන් කඩ කිරීම වෙනුවෙන් නියම කළයුතු දණ්ඩනයන් ගැන දක්වා තිබීමෙන් සේවාදායකයා හා සේවා යෝජකයා අතර මනා සම්බන්ධතාවක් පවත්වාගන්නා ආකාරය වැනි නෛතික තත්වයන් සමාජගත කිරීම නිසාවෙන් පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රමය නැමති සාධකය ආරක්ෂක මූලධර්මයන්ට යටත්ව හැසිරවීමට අවැසි පසුබිම නිර්මාණය කර දී තිබේ. එකී තත්ව ප‍්‍රායෝගීව ක‍්‍රියාත්මක වීමේ දී චතුර් වර්ණාශ‍්‍රම ධර්ම මූලික කොටගත් සංකීර්ණ සමාජ බෙදීම්වලින් යුත් පුරාතන ඉන්දියාවේ ආර්ථිකය තුළ ශ‍්‍රමිකයින් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑ බව දැක්විය හැකි ය. සම කාලීන යුරෝපයේ  මෙන් පීඩාකාරී පිළිවෙත් යටතේ ආර්ථික ක‍්‍රියාදාමය සඳහා ශ‍්‍රමය යොදාගන්නා ආකාරයක් පුරාතන ඉන්දීය ආර්ථිකය තුළින් විද්‍යාමාන නොවේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • අල්ටෙකාර්. ඒ. එස්. (2004), පැරණි ඉන්දියාවේ රාජ්‍ය හා ආණ්ඩුව, පරි. ඩී.එල්. අබේවර්ධන, නුගේගොඩ : සමන් ප‍්‍රකාශකයෝ.
  • කරුණාදාස, ඩබ්ලිව්.එම්. (1971) මධ්‍ය කාලීන ඉන්දියාව (ක‍්‍රි.ව. 550 පමණ සිට 1526 දක්වා ඉතිහාසය), කොළඹ: සීමාසහිත ඇම්.ඞී. ගුණසේන සහ සමාගම.
  • කෞටිල්‍ය ආර්ථ ශාස්ත‍්‍රය (අධිකාරය 3-4-5-6-7) (2003), අනුවාදය: හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, කොළඹ : එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • තාපර්, රොමිලා (1973), ඉන්දියාවේ ඉතිහාසය, බත්තරමුල්ල: අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව.
  • බෂාම් ඒ.එල්. (1962), අසිරිමත් ඉන්දියාව, ලංකාණ්ඩුවේ මුද්‍රණාලය.
  • ධම්මජෝති හිමි, බෙලිගල්ලේ (2002), ශ‍්‍රමය හා ශ‍්‍රම සූරාකෑම පිළිබඳ බෞද්ධ විග‍්‍රහය, සුමති,  සංස්. ඇකිරියගල නන්ද හිමි.
  • ධීරානන්ද හිමි, හඟුරන්කෙත (2004), වහල්භාවය හා ශ‍්‍රමයෝජනය :පුරාතන ඉන්දීය වහල් සංස්ථාව ඇසුරෙන් කරනු ලබන සමාජ ඓතිහාසික විවරණයක්, ඉඳුවර, පර්යේෂණාත්මක ලේඛන සංග‍්‍රහය – සමාජ විද්‍යාව, සංස්. දයා අමරසේකර සහ රෝහිත දසනායක, වරකාපොළ : ආරිය ප‍්‍රකාශකයෝ.
  • සෙනෙවිරත්න, ආරියදාස (2001), මනුස්මෘතිය හා මානව ශිෂ්ටාචාර, කොළඹ :එස් ගොඩගේ සහ සහෝදරයෝ.

—————————————————————————————————————————————–

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.07.10 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

—————————————————————————————————————————————–

මහනුවර යුගයේ රාජකීයයන්ගේ කලාත්මක චින්තනය : රෙදිපිළි මූලාශ්‍රය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිදුකරන අධ්‍යයනයකි

ගයාත‍්‍රී රණතුංග

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණ දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්වවිද්‍යාලය, කටුබැද්ද.

gayathrir@uom.lk

ආචාර්ය ගයාත්‍රී මධුභානී රණතුංග

හැඳින්වීම

රෙදිපිළි, අතීත ලංකාවේ ජනයාගේ කලාත්මක භාවිතය පිළිබඳ විශිෂ්ට නිදර්ශන සපයයි. වෙසෙසින් මහනුවර යුගයේ රාජකීයයෝ කලාත්මක රෙදිපිළි භාවිතය පිළිබඳව මහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූහ. සිල්ක්, ලේස්, බ්‍රොකේඞ්, සැටින්, මස්ලින් හා වෙල්වට් ආදී ආනයනික රෙදිපිළි සඳහා එකල ඉහළ ඉල්ලුමක් පැවතිණ. සිල්ක් චීනයෙන් ද සෝමාර, බෙනාරිස් හා කපු පිළි ඉන්දියාවෙන් ද ගෙන්වන ලදී. පෘතුගීසී ලේඛනවල ඔවුන් බ්‍රොකේඞ් රෙදි සුමාත‍්‍රා දූපත්වලින් මෙරටට ගෙන් වූ බව සඳහන් වේ. ඉතා සිනිදු මස්ලින් ඉන්දියාවේ වියන ලදී. ආනන්ද කුමාරස්වාමි මහතා එවන් අති විශේෂ මස්ලින් වර්ග තුනක් විස්තර කරයි. සිහින් මස්ලින්වලට ගලායන දිය, වියන ලද මද පවන, සහ සැදෑපින්න වැනි කාව්‍යමය නාම භාවිත කරන ලදී. අවසන් නම ලැබුනේ තෙත තණ මත අතුරන ලද මස්ලින් රෙද්ද නොපෙනෙන හෙයිනි (Coomaraswamy 1913). මේවාහි දුර්ලභ බව, විශිෂ්ට විවීමේ ක‍්‍රම, වර්ණ හා චිත්තා කර්ෂණීය මෝස්තර වැඩ ආදිය නිසා උඩරැටියෝ මේවා සුඛෝපභෝගී ද්‍රව්‍යයන් ලෙසට සැලකූහ. විශේෂයෙන් රාජකීයයෝ විදේශීය රෙදිපිළි පිළිබඳව මහත් රුචිකත්වයක් දැක්වූහ. ඔවුන් විදේශ රෙදිපිළි නිරන්තරයෙන් ත්‍යාග ලැබූහ. සැබවින්ම රෙදිපිළි පිලිබඳ රසාත්මක චින්තනය මතු වනුයේ ඒවා භාවිතයෙන් නිම වූ ඇඳුම් හා එම ඇඟලුම් මහත් අභිරුචියෙන් හැඳි පුද්ගල විශයන් විග‍්‍රහ කිරීමෙනි.

පර්යේෂණ ක‍්‍රමවේදය

මහනුවර රාජධානී සමයට අයත් රූප හා ලිඛිත තොරතුරු විශාල ප‍්‍රමාණයක් අදට ද සුරක්ෂිතව පවතී. ඓතිහාසික පන්සල් චිත්‍ර, කැටයම්, මූර්ති, විදේශිකයන් විසින් වාර්තාගත කරන ලද ලිඛිත මෙන්ම දළ රූපසටහන් මෙම පර්යේෂණය සඳහා උපයෝගීකර ගන්නා ලදී. මහනුවර හා කොළඹ ජාතික කෞතුකාගාරයන්හි සුරක්‍ෂිතව ඇති මහනුවර යුගයට අයත් රජුන්ගේ ඇඳුම්පැළඳුම් හා රෙදි වර්ග අධ්‍යයනය සඳහා උපයෝගීකර ගන්නා ලදී. පර්යේෂණ සඳහා සෑමවිටම මුල්කෘති පරිශිලනය කරන ලදී. එක්රැස්කර ගන්නා ලද රූප හා ලිඛිත තොරතුරු විමර්ෂණය කිරීමෙන් පර්යේෂණය ආරම්භ කරන ලදී. එකතු කර ගන්නා ලද තොරතුරු වල විශ්වසනීයත්වය සෑම විටම සැලකිල්ලට ගන්නා ලදී. රූපසටහන් හා ලිඛිත තොරතුරු එකිනෙක සංසන්දනය කිරීමෙන් හා විශයානුබද්ධ ශ‍්‍රාස්ත‍්‍රීය පොතපත පරිශිලනය කිරීමෙන් උකහා ගන්නා ලද තොරතුරු වල විශ්වාසනීයත්වය රැක ගන්නා ලදී.

විමසුම

අතීත ලංකාවේ අවසාන රාජධානි සමය මහනුවර රාජධානි සමයයි. සෙංකඩගල පුර නමින්ද හැඳින්වෙන මහනුවර රාජධානිය පහලොස්වන සියවසේ සිට ක‍්‍රිස්තු වර්ෂ 1815 කාලය දක්වා බල පැවැත්විණි. ක‍්‍රිස්තු වර්ෂ 1815 දී බි‍්‍රතාන්‍යයන් කන්ද උඩරට ආක‍්‍රමණය කොට යටත් කරගැනීමත් සමග මහනුවර රාජධානි සමය නිමා වෙයි. ශතවර්ෂ 3 1/2කට පමණ සීමා වන රාජධානි සමයෙහි රජුන් දොළොස් දෙනෙකු රජකම් කරන ලදි (Silva 2005:134, 301).

මහනුවර යුගයේ රාජකීයන්ගේ රෙදිපිළි පිළිබඳව වූ කලාත්මක රුචිකත්වය විග‍්‍රහ කිරීමෙහි ලා එකී කාල සීමාවේ දේශපාලන සංස්කෘතික හා ආගමික පසුබිම අවබෝධ කර ගැනීම වැදගත් වේ. පහළොස් වැනි සියවස වනවිට ලංකාව පෘතුගීසි බලපෑමට නතුව තිබුණි. මෙකල අභ්‍යන්තර පරිපාලන වියවුල් බහුල වූ අතර ස්වදේශිය රජුන් මෙකී වියවුල් මැඩපැවැත්වීමෙහි ලා දක්ෂ, උපායශීලි ධනවත් හා හමුදා බලයෙන් පරිපූර්ණ වු පෘතුගීසින්ගේ සහාය අපේක්ෂා කලහ. මෙහි ප‍්‍රතිඵලය වූයේ රටේ ප‍්‍රධාන සිවිල් පුරවැසියන් වූ රජු ප‍්‍රමුඛ රාජ පරම්පරාව විදේශිය ආගමික හා සංස්කෘතික ආභාසයට ලක් වීමයි. මුල් කාලීන රජකු වූ කරලියද්දේ බණ්ඩාර රජු (1552 – 82) සීතාවක මායාදුන්නේ රජුගේ (1521 – 81) බලපෑම්හමුවේ රාජ්‍ය රැක ගත නොහි තම දියණිය හා බෑණනුවන් සමග මන්නාරමට පැන ගොස් පෘතුගීසි ආරක්‍ෂාව ලබා ගති (Lankananda, 1996: Verses 73,76).  එහිදි දියණිය වූ කුසුමාසන දේවිය දෝන කැතරිනා නමින් බෞතීස්මය ලබා කිතු දහම වැළඳ ගත්තා ය. පෘතුගීසි ආගම හා සංස්කෘතික ආභාසය මැනවින් ලද  ඕ තොමෝ මහනුවර රාජධානියේ මුල් කාලීන රජුන් දෙදෙනෙකුට බිසව වූවා දරුවන් පස්දෙනෙකුට මව් වූවා ය. ඇය පෘතුගීසි අධ්‍යාපනය ලැබූ පෘතුගීසි හා ලන්දේසි භාෂාවන් කතා කිරීමේ හා ලිවීමේ මනා නිපුනතාවකින් හෙබි කාන්තාවක බව ක්වේරෝස් නම් ඉතිහාසඥ්ඥයා සඳහන්කරයි (Fr. Perera, trns. 1930).

දෝන කැතරිනා රැජිනගේ ස්වාමියා වූයේ සෙංකඩගල පුර තම රාජධානිය පිහිටුවා ගත් පළමු වැනි විමලධර්මසූරිය රජ තුමා ය. එතුමා මහනුවර සිටි ප‍්‍රකට නිලමේවරයෙකුගේ පුතණුවන් වූ අතර කුඩා කල සිට පෘතුගීසී ඇසුරේ හැදී වැඩුණේය. ලිඛිත සාදක වලට අනුව එතුමා පෘතුගාලයේ ‘‘මාර්ගි’’ නම් උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලැබූ ප‍්‍රථම ලාංකිකයා වූයේ ය.

මෙම පසුබිම හේතුකොටගෙන මහනුවර රාජධානියේ මුල් කාලීන රාජකීයන්ගේ රුචිකත්වය බටහිර උරුවක් ගනියි. මහනුවර රාජධානියට පිවිසි ප‍්‍රථම ලන්දේසි ජාතික අද්මිරාල්වරයා වූ ජොරිස්වැන් ස්පිල්බර්ජන් (1602 AD) ඔහුගේ වාර්තාවල රජු රැජිනි හා කුමරකුමරියන්ගේ ඇඳුම්පැළඳුම් පිලිබද විස්තර දක්වයි. පළමු වැනි විමලධර්මසූරිය රජතුමා තමාට රජ බිසව හා කුමරකුමරියන් හඳුන්වා දුන් අවස්ථාවේ ඔවුන් සියල්ලන්ම පෘතුගීසි ඇඳුම් හැඳ සිටි බව හෙතෙම පවසයි (Paranavitana, trans. 1997). දෝනකැතරිනා රැුජිනගේ යයි හඟින දළ රූප සටහනක ඇය හැඳ සිටිනා දිගු ඇªමේ ලේස් වැඩ දැමූ පටි දක්නට ලැබෙයි. පෘතුගීසී ලේස් වැඩ දහසය වන සියවසේ මෙරට කුුල කතුන්ගේ ඇදුම් සැරසූ මහඟු චිත්තාකර්ෂනීය අත්කම් වෙසෙසක් විය.

රූපය 1 : දෝන කැතරිනා දේවිය (de Silva, R.K. & W.G.M. Beumer, Illustrations and views of Duth Ceylon, London)

ලිඛිත වාර්තාවලට අනුව විදේශ රෙදිපිළි සඳහා එකල ඉහල ඉල්ලුමක් පැවතිණ. දහසය වැනි සියවසේ මෙරටට බහුලව ආනයනය කල ද්‍රව්‍යයක් වූයේ රෙදිපිළි ය. පලමු වැනි විමලධර්ම සූරිය රජතුමාගේ යුගයේ දී බිං තැන්න රෙදි වෙළදාම සදහා ප‍්‍රකට වරායක්ව පැවති බව ක්වේරෝස් සඳහන් කරයි‍ (Fr. Perera, trns. 1930: 736, 754) ක්වේරෝස් සඳහන් කරනුයේ එකල සිල්ක් බහුලව භාවිත කළ බව ය.

ආනයිනික රෙදිපිළි රජුගේ ඇඳුම් සැකසීම සඳහා පමණක් භාවිත කරන ලදී. සැටින්, සිල්ක් වැනි රෙදි සාමාන්‍ය ජනයාගේ පරිභෝජනයට තහනම් විය. රොබර්ට් නොක්ස් නම් මහනුවර යුගයේ සිටි ඉංග‍්‍රීසි ජාතික සිරකරුවා තම එදා හෙලදිව නම් ග‍්‍රන්ථයේ අවධාරණය කරනුයේ ඉහල නිලධාරීන්ට රත්රන් හාවිතයට පවා අවසර ලබා දුන්න ද සිල්ක් හැදීමට කිසිසේත් අවසර ලබා නොදුන් බව ය. එය රාජකීයන්ට පමණක් සීමා වූ විශේෂ වරප‍්‍රසාදයක් විය (Knox 1966: 170).

අවුරුදු පනස් දෙකක් රාජ්‍ය විචාල දෙවැනි රාජසිංහ රජු (1635 – 1687) තමාගේ ඇදුම් සඳහා ඉස්තරම් විදේශයන්ගෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත කරන ලදී. රජුගේ විවිධ විලාසිතා හා ඒ සඳහා යොදා ගන්නා ලද රෙදිපිළි විදේශිකයෝ පවා මවිත කරවන ලදී. රජු තමන්ගේ දේශයට ආවේණික නොවූ තමාගේම ඇඳුම් පැළඳුම් ක‍්‍රම අනුගමනය කල බව රොබර්ට් නොක්ස් සඳහන් කරයි (Knox, 1966:62). එහි කඳ කොටස එක් වර්ණයකිනුත් කමිස අත් තවත් වර්ණයකිනුත් නිම වී තිබූ බව සැලයි. ක‍්‍රිස්ටෝපර් ස්විට්සර්ගේ (1676 AD) වාර්තා වලට අනුව දෙවැනි රාජසිංහ රජුගේ කමිසය හා උඩුකය සැරසූ කෙටි කබාය ඉස්තරම් කපු රෙද්දෙන් නිම කර තිබූ බව සඳහන් ෙව් (Hulugalle, 1999:140). රජු තමාට විදේශයන්ගෙන් එවන ලද රෙදිපිළි උසස් ත්‍යාග ලෙස පිළිගත්තේ ය. වරක තමා ලැබූ එවැනි ත්‍යාගයක් පිළිබඳව පිළිතුරු ලියන රජු ‘මා හොඳින් දන්නවා ඔවුන් නිසැකවම මා වෙත එවනුයේ ඉතා වටිනා ඉහළ දේ බව’ යනුවෙන් ලිවුවේ ය. රජුට ඇදුම්පැළදුම් පිළිබඳව විශේෂ රසයක් තිබු බව රොබර්ට් නොක්ස්වරක පැවසුවේය (Knox 1966:269). කුඩා කල තමා හැදී වැඩුණ ක‍්‍රිස්තියානි සමාජ පසුබිම, අධ්‍යාපනය මව් වූ දෝන කැතරිනා බිසවගේ ආභාසය මෙන්ම විදේශ තානාපති ඇසුර ඔහුගේ රුචිකත්වය ඔප මට්ටම් කිරීමට ඉවහල් වූවා විය හැකි ය.

දෙ වැනි රාජසිංහ රජුගේ වැඩිමහල් සොහොයුරකු වූ මාතලේ රජකම් කළ විජයපාල රජු සැටින්, ලේස් සහ වෙල්වට් වැනි රෙදිවලට ප‍්‍රියතාවක් දැක්විය. නෙදර්ලන්තයේ කෞතුකාගාරයක සුරක්ෂිතව ඇති ඔහු විසින් පෘතුගාලයේ රජුට ලියන ලද ලියුම්වල ඔහුගේ රුචි අරුචිකම් මනාව විද්‍යාමාන වේ. ඔහු බෞතිස්ම මංගල්‍යය දිනයේ යුරෝපීය කුළවතෙකු සේ සැරසුණි. සුදු සැටින්, කළු වෙල්වට්, රත‍්‍රන්,

රූපය 2 : දෙ වැනි රාජසිංහ රජු (Knox 1966)

ලේස් වැනි යුරෝපීය ඉස්තරම් රෙදිපිළියෙන් ඔහුගේ ඇදුම් කට්ටලය සුසැදුණි. ඔහුගේම වචනවලට අනුව ‘මාලෙයින් සිංහලයකු වූයේ නමුදු සිතුම්පැතුම් අභිප‍්‍රායන්ගෙන්මා පෘතුගීසියෙකි’ ඔහු රටින් පිටුවහල් කොට ඉන්දියාවේ ගෝවේ දී අවසන් හුස්ම හෙලනා තෙක් ඉස්තරම් රෙදිපිළියෙන් සැදුම් ලත් යුරෝපීය ඇදුම් ඇඳි බව වාර්තා වේ (Pieris 1927:44-45).

විවිධ ඉස්තරම් රෙදි පිළිබඳ මෙකී කැමැත්ත විදේශීය තෑගි භෝග හේතු කොට ගෙන තව දුරටත් වර්ධනය විය. ආණ්ඩුකාර තෝමස්වැන් රී (1692 – 1697) දෙ වැනි විමලධර්ම සූරිය රජුට (1687 – 1707) එවන ලද ත්‍යාග අතර විවිධ දුර්ලභ රෙදිපිළි ගැන සදහන් වේ. මන්ත සදහා ලේස් කැබලි අටක්, සුදු ලේස් කැබලි හතලිස් පහක් ප‍්‍රකට ඉන්දියානු සුරාට් රෙදි, රත‍්‍රන් රිදී මල් හා ඉරි මෝස්තර යෙදුණු ලන්දේසි රෙදි කැබලි හතරක් එම ලැයිස්තුවේ අඩංගු වේ (Pearson 1929:382).

මහනුවර රාජධානියේ රජකම් හෙබවූ රජුන් විවිධ ආගම් හා විවිධ ජාතීන්ට අයත් වූවන් වූයේ ය.  මුල් කාලීන රජුන් ක‍්‍රිස්තියානි ආගම වැළදගත් සිංහල රාජ පරම්පරාවට අයත් වූවන් වූයේ ය. වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ (1707-39) කාලයේ දි ද්‍රවිඩ නායක්කර් වංශිකයන් සමග බහුල ව ඇති වූ විවාහ සබඳතාවල ප‍්‍රතිඵලයක් ලෙස කන්ද උඩරට අවසාන රජවරු සිවු දෙනා ද්‍රවිඩ සම්භවයක් අැති නායක්කර්වරු වූහ (Raghavan, M.D.). මොවුන් සියලු දෙනා මහනුවර සම්ප‍්‍රදාය ආරක්ෂා කල බෞද්ධ ධර්මයට ලැදි පිරිසක් වූහ. ඔවුන්ගේ පෞද්ගලික රුචිකත්වයන් විවිධ වූ නමුදු පොදුවේ සියලූ දෙනා විදේශ රෙදිපිළිවලට මහත් රුචියක් දැක්වූහ.

රූපය 3 : කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු  (දඹුල්ල විහාරය)

1740 වර්ෂයේ එනම් ශ‍්‍රී විජය රාජසිංහ රජුගේ සමයේ දී ලන්දේසි නිලධාරීන් විසින් රජුගේ පරිබෝජනය සදහා තෑගි කළ රෙදිපිළි අතර රත‍්‍රන් හා රිදියෙන් මෝස්තර යෙදූ පෘතුගීසී රෙදි, හාර්ලිස් රෙදි, පහෙළාස් වර්ගයකට අයත් රෙදි එනම් සුප‍්‍රසිද්ධ සුරාට් කොරමැන්ඩල් හා ටි‍්‍රචිකොන් ආදී රෙදි පිළි අඩංගු වූ බව සඳහන් ෙව් (Abeyasinghe, 1885/86:34, 35).

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී සියම් දේශය සමග ආගමික, සංකෘතික සබඳතා වර්ධනය කරගන්නා ලදී. මෙකල මහනුවර රාජධානියේ පිරිසිදු ථේරවාද බුදු දහම පිරිහී ගොස් තිබූ අතර උපසම්පදා කර්මය නැවත ඇති කරවා ථේරවාද බුදු දහම ස්ථාපිත කරනු වස් සියම් දේශයෙන් ප‍්‍රවීණ භික්ෂුන්වහන්සේ වැඩමවන ලදී (Mudiyanse, 1971-1974:26).

මෙහි දී ලංකාවේ රජුට සියම් රජු වටිනා රෙදිපිළි ත්‍යාග ලෙස එවූ බව සඳහන් වේ. 1762 දී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ලංකාවේ කන්ද උඩරට රාජධානිය සමග සබඳතා පැවැත්වීමේ අරමුණින් මෙරටට එවන ලද නියෝජිතයෙකු වූ පීබස් කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කමිසය රත‍්‍රන් සලුවකින් සකස් කල සේ දිස්විණයි පවසයි (Reven-Hart, 1956:57). ඔවුන්ගේ හමුව අවසානයේ පීබස් විසින් රජුට අගනා මස්ලින් රෙදිකැබලි දෙකක් ත්‍යාග කල බව සඳහන් ෙව්.

කන්ද උඩරට රජකම් කල අවසාන රජු එනම් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට අයත් ඇදුම්පැළදුම් ලැයිස්තු පිළිබද විස්තරයක් තෙන්නකෝන් විමලානන්ද විද්වතානන් විසින් උඩරට මහා කැරැල්ල නම් ග‍්‍රන්ථයේ ගෙන එයි. රනින්වැඩ දැමූ රතු විල්ලූද පටියක්, රන්චූඩා නමින් හැඳින් වූ වැඩ දැමූ විශාල රෙද්දක් හා ලොමින් කල රන් හූයෙන් ගොතන ලද හතරැස් ෙතාප්පියක්, රන්රෙද්දෙන් කල කාල් හැට්ට සලූ (කලිසම්) සහ රන් රිදී වැඩ දැමූ හැට්ට පිළිබදව එහි සදහන්වේ (තෙන්නකෝන්, 2008:398-400). ඊට අමතරව දැනට කොළඹ කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇති රජුට අයත් හැට්ට අතලොස්සෙන් එකල භාවිත වූ රෙදිපිළි පිළිබදව සවිස්තරාත්මක හා නිවැරදි විස්තර ලබාගත හැකි ය. රතු හා නිල් මිශි‍්‍ර වෙල්වට් රෙද්දෙන් නිමවූ හැට්ටයත්, රත‍්‍රන පැහැති හැට්ටයත් මේ අතර වඩාත් හොදින් සුරක්ෂිතව පවතී. රත‍්‍රන් පැහැති හැට්ටයේ විශාල මල්පොහොට්ටු, කොළ ආදියෙන් සමන්විත වූ මුළු තල මෝස්තරයක් දක්නට ලැබේ.

රූපය 4: ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු (D’Oyly, 1975 ‘A sketch of the Constitution of the KandyanKingdom)
රූපය 5 : ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ හැට්ටයක් (Vangeyzel, 2008. ‘Traditional Textiles’)

නිගමනය

නායක්කාර රජුන් මෙන්ම පෙර වූ රජුන් ද ඉන්දියානු, පර්සියානු, ඉන්දුනීසියානු සහ බටහිර රෙදි පිළියෙන් නිම වූ බටහිර පන්නයේ ඇඳුම් ඇඟලූහ. මේස්සපත්තු පැලඳූහ. බටහිර මොස්තරයේ ඔටුන්නක් පැලැන්දහ. ඔවුන්ගේ ඇඳුම්පැළදුම් රෙදිපිළි බටහිර හා ආසියාතික සම්මිශ‍්‍රණ ලක්ෂණ පෙන්වයි. විවිධ සංස්කෘතීන්ගෙන් ආභාසය ලබා පෝෂණය වූ රුචිකත්වයක් තිබූ බව වැටහේ. උඩරට රජුන්ට තිබූ අත්තනෝමතික බලතල, නිදහස, විවිධ සංස්කෘතීන් පිලිබඳ වූ අධ්‍යාපනය, විවිධ ජාතීන්ට අයත් විදේශිකයන් සමග තිබූ සමීප ඇසුර, ඔවුන්ගෙන් ලැබූ ආභාසය රජුන්ගේ හා රැජිනියන්ගේ කලාත්මක රුචිකත්වය පෝෂණය කිරීමට ඉවහල්වන ලදී. එමෙන්ම දහඅටවන සියවසය තරම් වූ සන්නිවේදන මාධ්‍ය දුර්වල වූ, යුද්ධ ගහණ, හුදකලා රාජ්‍යයක රාජකීයන් තුළ වූ කලාත්මක රුචිකත්වය දැනුම හා භාවිතය විසි එක්වන සියවස මවිත කරවන සුළු ය.

මූලාශ‍්‍රය නාමාවලිය

  • Abeyasinghe, T.B.H. (1885/86), Embassies as Instruments of Diplomacy from Sri Lanka in the first half of the 18th Century, Journal of Royal Asiatic Society (Ceylon Branch), New ,Series, vol.XXX.
  • Coomaraswamy, A. (1913), Art and Crafts of India and Ceylon, New Delhi:Today and Tomorrow’s printers and publishers.
  • Ferguson, D. (1909), Letters from Raja Sinha II, to the Dutch, Journal of Royal Asiatic Society (C.B.), Vol.XXI,No.62.
  • Fr. Perera, S.G. trns. (1930), Queyros; Father FernaoDe, The Temporal and Spiritual Conquest of Ceylon, New Delhi: J. Jettey for Asian Educational Services. Volume.II, Book 3-4.
  • Hulugalle, H.A.J. (1999), Ceylon of the early travelersArjuna Hullugalle Dictionaries.
  • Knox, R. (1966), Historical Relation of Ceylon, Tissara Prakasakayo, Colombo.
  • Lankananda, L. (1996), Mandarampura puwatha, Department of Cultural Affairs, Colombo.
  • Mudiyanse, Nandasena, (1971-1974), Cultural Missions to Arakan (Rakkhanga-Desa), Journal of Royal Asiatic Society (C. B), vol XV-XVII.
  • Paranavitana, K.D. trans. (1997), Journal Of Spilbergen:the first dutch envoy to ceylon 1602Published by the Author.
  • Pearson, J. (1929), The Throne of the Kings of Kandy, Journal of Royal Asiatic Society (C.B.), vol.XXXI, No. 82, I-IV.
  • Pieris, P.E. (1927), The Prince Vijaya Pala of Ceylon (1634-1654) : from the original documents at Lisbon, Colombo.
  • Raghavan, M. D.n.d. Tamil Culture in Ceylon: a general introduction, Colombo: Kalai Nilayam,19Milagiriya Avenue.
  • Reven-Hart, R. trans. (1956), The Pybus Embassy to Kandy- 1762, The National Museum of Ceylon, Historical Series Vol.I.
  • Silva, de K.M. (2005) (The first Sri Lankan Edition), A History of Sri LankaVijithYapa Publications, Colombo.
  • විමලානන්ද තෙන්නකෝන් (2008), උඩරට මහ කැරැල්ල, තෙවන මුද්‍රණය, ඇම්.ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ.

—————————————————————————————————————————————-

මෙම ලිපිය 2017.07.06 වැනි දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළමු වරට පළ විය

—————————————————————————————————————————————-

පුරාවිදු කතිකා, ප්‍රශ්න අංක 2 : අාචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ප්‍රශ්න අංක 2 : ආචාර්යතුමනි, යම්කිසි විෂයක ප්‍රවීනයෙකු වීමේ දී ලබා ගන්නා විධිමත් අධ්‍යාපනය එ තුමාට බලපානවා. සමහර විට විධිමත් අධ්‍යාපනයනට වඩා වැඩියෙන් අවිධිමත් අධ්‍යාපනය ශාස්ත්‍රඥයෙක් වීම සඳහා බලපාන්න පුළුවන්. අපි කැමතියි ඔබ තුමාගෙන් දැනගන්න, ශාත්‍රඥයෙකු වශයෙන් ඉදිරියට පැමිණීමේ දී ඔබ තුමා විධිමත් හා අවිධිමත් වශයෙන් අධ්‍යාපනය ලැබුණු ආකාරය හා එය ඔබ තුමාගේ ශාස්ත්‍රීය ජීවිතයට බලපෑවේ කෙසේ ද යන්න පිළිබද ව 

විධිමත් අධ්‍යාපනය ඒ කියන්නේ, මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් ඉගෙන ගත්තා. එහෙන් උපාධිය අරන් එම්.ඒ. උපාධියත් ඒකෙන් අරන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ තව අවුරුදු 2ක් හිටියා. ඉන් පසුව ලංකාවට ඇවිත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැදුණා. මං අවුරුදු තුනකට පස්සෙ ලංකාවට ආවේ 1966, ඇත්තෙන් ම අවුරුදු දෙකකට පස්සෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැදුනේ.

මගේ ම පර්යේෂණමාලාවක් සකස් කරගෙන ඒ කාලෙ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ අනුග්‍රහය, විෙශ්ෂ අනුග්‍රහය ඇති ව, ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ අනුග්‍රහහය ඇතුව මගේ පර්යේෂණ මාලාවට මං බැස්සා. මගෙ ලොකු වාසනාවට ඒ කාලෙ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්තුමා කොයිම තැනකවත් මගෙ පර්යේෂණ වලට හරස් වුනේ නෑ, සෑම උදව්වක් ම දුන්නා. සාමාන්‍යයෙන් ඔය රජයේ දෙපාර්තමේන්තුවලට බැඳුණාම ඉහළින් ඉන්න අය පහළින් ඉන්න අය පාගගෙන ඉන්නව මිසක් නැඟල එන්න දෙන්නෑ. මට නම් ලොකු වාසනාවක් තිබුණා, ආචාර්ය රාජා ද සිල්වා මහත්තය මට හැමදාම කියනවා ඉතින් පුළුවන් දෙයක් කරල රට වෙනුවෙන් පර්යේෂණ පවත්වල රටේ තියෙන දැනුම නංවනව මිසක් ඔය තියෙන අත්සන් දාන්න ඒහාට මෙහාට අත්සන් දාන්න පරිපාලන කටයුතුවලට කිට්ටු වෙන්නවත් එපා කියල. ඒක ලොකු වාසනාවක්. 1968 මං බැදුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. පැහැදිලි ව තිබුණා මට ලංකාවේ පුරාවිද්‍යාව 1890 පටන් පැවැත්වෙලා තිබුණා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඇත්තටම 69 පටන් ඓ්තිහාසික යුගය ගැන සෑහෙන පර්යේෂණ කොටසක් කෙරිල තිබුණා. විශේෂයෙන් සෙල්ලිපි පිළිබද ව. නටඹුන්වලට වැඩිය සෙල්ලිපි පිළිබද ව. උදාහරණයක් වශයෙන් මහාචාර්ය පරණවිතාන මහතාගේ නැත්නම් එච්.සී.පී. බෙල්ගේ වැඩවලින්. ඉතින් ඒ ඇත්තන් කරපු දේවල්වලට මං රැදෙන්නෙ නැතුව පැටලෙන්නෙ නැතුව අළුත් ක්ෂේත්‍රවලට යන්න අවශ්‍ය බව මට පැහැදිලිව ම පෙනුනා. ඊ ගාවට ප්‍රශ්නෙ තිබුෙණ කොයි ක්ෂේත්‍රයට ද යන්නෙ කියලා. එකක් තිබුනේ උදාහරණයක් වශයෙන් අපේ ඓ්තිහාසික යුගයේ මුල ගැන ඉතිහාස පොත්වල, වංශකතාවල සඳහන්වෙලා තියෙනවට අමතර ව අපේ දැනුම ඉතාමත් ම හිඟ මට්ටමක පැවතුනේ. මේ අඩුව මේ හිගය පුරවා ගැනීමට ක්ෂේත්‍ර පුරාවිද්‍යා සැලැස්මක් මා සකස් කෙරුවා. තෝරගත්තා ස්ථානයක් මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඉඩ තිබෙන ස්ථානයක් හැටියට මං අඳුනගත්තේ අනුරාධපුරය. අනුරාධපුරය වංශකතාවලත් සඳහන් වෙලා තියෙනව, ඉතාමත් ම, ඒ කියන්නෙ විජය කුමාරයාගේ පටන් මෙතන වැදගත් ස්ථානයක් තිබුණු බවට. අපි දන්නව අනුරාධපුරයේ ඉතාමත් වැදගත් ස්ථාන තිබෙන බවට පුරාණ නගරේ. මොකද මගෙ පියතුමා වැඩ බැලුවා 1956 ඉදලා 58 වෙනකල් පුරාවිද්‍යා කොමසාරිස් හැටියට පරණවිතාන මහතා විශ්‍රාම ගියායින් පසුව. ඔහු කැනීම් කරල තිබුණා අනුරාධපුර ඇතුළුපුරේ ථූපාරාමයටත් කුට්ටම්පොකුණටත් අතර ගෙඩිගේ ආසන්නයේ කැනීම් ආරම්භ කරල තිබුණා. ඔහුගෙන් පස්සෙ ඉතාලියෙන් කෙනෙක් ඇවිත් ඊ.සී. සෙස්තියර් නැමැත්තෙක් ඉතාලියෙන් එවල හිටන්, පුරාවිද්‍යා කොමසාරිස් හැටියට වැඩ බැලුවා. මේ දෙපළ ම අනුරාධපුර ඇතුළුපුරයේ කැනීම් ආරම්භ කරලා හිටන් අඩි 12ක් බස්සලා තිබුණා, ඒ කැනීම් වල. එතනින් නවත්තලා තිබුණා. වාර්තා හරියාකාර ව පිට වුනේ නෑ. ඉතින් මට පෙනී ගියා 1968 දී කැනීම් කරනව නම් අපේ ප්‍රශ්නවලට උත්තර ලබා ගැනීම අපේ මූල ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබදව ප්‍රශ්න විසදන්න නම් මේ ස්ථානය තමයි සුදුසු කිලා හිටන් පැහැදිලි වුණා. ඒ නිසා ඒ ඇත්තන් පටන් මගේ පියතුමයි සෙස්තියරියි ආරම්භ කරපු කැනීම් වල ම සුද්ධකරලා 1968 දී තවදුරටත් අඩියට ම මම බැස්සෙව්වා 1968 දී, 69 දී ඇත්තටම. කෙසේ වුවත් පොළව මතුපිට ඉදන් අඩි 28කට යටින් අපේ පුරාණ ශීෂ්ඨාචාරයක් තිබුණු බවට අපට සාධක ලැබුණා.

ඒ විස්තර තව දුරටත් කියන්න පෙර, ඉතින් අපේ ආරම්භ කෙරුවා පුරාවිද්‍යාඥයෙක් හැටියට මයෙ වැඩකටයුතු පර්යේෂණ මූල ඓතිහාසික යුගය පිළිබද පර්යේෂණ. එතකොට ඒකෙන් ලැබුණු පළපුරුද්ද අනුව 1972 වෙනකොට ඒ කැනීම් වාර්ථාව පිටවෙලා තිබුණා, මුද්‍රණය කරල තිබුණා. ලෝකය පිළිගන්නා ජාත්‍යන්තර මට්ටමේ සමාලෝචනවලින් දකුණු ආසියාවේ තිබිච්ච ඉතා වැදගත් වාර්තාවක්, කැනීම් වාර්තාවක් හැටියට පුරාවිද්‍යාඥයෝ පිළිගත්තා ඒක, ජාත්‍යන්තර සඟරාවලින්. ඒ කාලේ අපට හැකියාවක් තිබුනේ නෑ කාලය නිර්ණය කරන්න. ඒ කියන්නේ අපි ඔය කැනීමේ ප්‍රතිඵල අපි නිර්ණය කරේ ඉන්දියාවෙන් සොයාගත්ත දත්ත හා වෙනත් රටවල තිබිච්ච දත්ත හා අපේ ඉතිහාසය සඳහන් තොරතුරුත් එක්ක සංසන්දනය කරල තමයි, අපි කාල නිර්ණය කෙරුවෙ. කාබන් 14 වැනි ශාස්ත්‍රීය මට්ටමේ කාල නිර්ණය කරන්න අපට හැකියාවක් තිබුෙණ නෑ. කැනීම් වාර්තා සකස් කෙරුවයින් පස්සෙ ආය බැලුවහම පැහැදිලිව පෙනුනෙ, අපේ ඊට කලින් ඓ්තිහාසික කලින් යුගය පිළිබදව ලොකු අඩුපාඩුවක් තිබුණු බව අපේ දැනුමෙ. ඉතින් ඒ ප්‍රාග් ඵතිහාසික යුගය පිළිබද ආයෙ  සැරයක්, නැවත වරක් අපි සළකල බලලා පර්යේෂණ මාලාවක් සකස් කෙරුවා. ඒ පර්යේෂණ මාලාව අදියර කිහිපයකට අපි බෙදුවා. බෙදල හිටන් මුල් අදියර මං ආරම්භ කෙරුවා. එතෙක් සොගෙන තිබුණු දත්ත සියල්ලක් ම සමාලෝචනය කරල හිටන් කොහෙ ද අඩුපාඩුකම් තියෙන්නෙ කියල හිටන් අපි තක්සේරු කෙරුවා. ඉන් එහාට තමයි අපි ක්ෂේත්‍රයට බැහැල හිටන් කැනීම් පවත්වලා ඉදිරියට ප්‍රාග් ඓතිහාසික යුගය පිලිබද පර්යේෂණ මාලාව ඉදිරියට ගෙනගියේ.

වළවේ උප නිම්නයේ පුරාණ වාරි තාක්ෂණය හා කෘෂි සභ්‍යත්වය : වේළිඔය උප නිම්නය ඇසුරින්

ඩී.එම්. නිරෝෂා උදයංගනී

පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය.

dm.niroshaudayangani@gmail.com

nirosha-udayangani-central-cultural-fund-abhayagiriya-anuradhapura
නිරෝෂා උදයංගනී

අතීත දවස සිට ම බතබුලතින් සරුසාර වූ දිවයිනක උපන් ජාතියක් වූ ලාංකිකයන් වාරි කේ‍්‍රෂ්ත‍්‍රයට දක් වන්නේ විශේෂ ඇල්මකි. ලොව කිසිදු රටක දැකගත නොහැකි ආකාරයේ වාරි ශිෂ්ටාචාරයක් ශී‍්‍ර ලංකාවේ දැකගත හැක. මෙ රටට ම විශේෂ වූ තාක්ෂණ ක‍්‍රමයක් අනුගමනය කරගනිමින් අතීත මුතුන් මිත්තන් ගොඩනඟන ලද වැව් අමුණු තුළ ලාංකික අභිමානය රැදි පවති. බදුලු දිසාවේ උප ඒජන්තව සිටි ෙබ්ලි විසින් ලංකාණ්ඩුවේ නියමය පිට වර්ෂ 1815 දී ලියා ප‍්‍රසිද්ධියට පමුණුවන්නට යෙදුන රපෝත්තුවක මෙසේ ලියා තිබේ. පෙර කල කරන ලද අති විශාල වැව් කර්මාන්ත ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේය යනු මගේ විශ්වාසයයි. තව ද මෙ රට ඒ ඒ සීමා ඇතුළත දක්නට ලැබෙන තරම් වැව්අමුණු කර්මාන්ත අන්රටක ඒ තරාතිරමේ සීමා ඇතුළත දක්නට දුෂ්කර විය යුතුයි. මෙ තරම් කුඩා වු අන් රටක මේසා පැරණි වුව ද වැව් අමුණු තවත් ඇතැයි සිතිය නොහේ යනුවෙනි (බ්‍රෝහියර් 1935:1).

ලංකාවාසින්ගේ ශිෂ්ටාචාරය මේ පුරාණ වැව් කර්මාන්තය සමඟ අතිශයින් සම්බන්ධ වි තිබෙන බව සත්‍යයකි. සර් ඇමසන් ටෙනන්ට් මේ ගැන මෙසේ කියයි. “ලංකාද්විපයේ වරක් පැවති මහ යශෝභාවය සිහිපත් කරවන දේවල් අතුරෙන් මේ පුරාණ වැව් වල විස්මජනක නෂ්ටාවශේෂයෝ අග‍්‍රස්ථානය ලබන්නෝ ය. මධ්‍යම මිසරයේ තිබෙන විශාල මෝරිස් විල ද වෑ කණ්ඩිය කැඩි යාමෙන් අරාබියාවේ මා රෙබ් නුවර විනාශය වි ගිය ගුප්ත වූ අල් අරම් නැමැති වැව ද හැර අනකිසි පුරාතන හෝ නූතන ජාතියක් විසින් කරවන ලද මෙ වැනි කර්මාන්තයක් ලංකාවේ විස්මජනක වැව්වල විශාලත්වය නොපරදවන්නේ ය. අජ්මිර් ජාතිකයන් විසින් සාදන ලද ඉස්පහන් නගරයෙහි කොහරඞ් නැමැති වැවත් මයිසෝර් රටේ හයිඩර් නම් ජලාශයත් කලාවැව හෝ පදවිය වැව සමඟ විශාලත්වයෙන් හා ලක්ෂණයෙන් කිසිසේත් සමාන කළ නොහැක. එ සේ ම හැසරියා රටේ තිබෙන වාරිමාර්ගත් පර්සියාවේ තිබෙන ජලමාර්ග වත් මින්නේරිය වැව සමඟ පරාක‍්‍රම සමුද්‍රය අඹන් ගඟ යා කිරිමට තනන ලදැයි සිතිය හැකි ඇලහැර නම් ඇළ සමඟ විශාලත්වයෙන් සමාන කළ නොහැක” (බ්‍රෝහියර් 1935:1).

ධාතුසේන රජු මරණයට පෙර සිය පණ මෙන් ආදරය කළ කලා වැවට බැස දිය නා මේ මා රැස් කළ වස්තුව යි” පැවසු බව සඳහන් වේ . (සරත්1985:7).

ස්වභාවික ගල්තලා පර්වත කඳු සහ අපරාම්‍ය පස්තට්ටුව වැනි ස්වභාවික භූ ව්‍යුහයේ සංයුතිය හා ව්‍යුහය පිළිබඳ අවබෝධයකින් යුතුව හැසුරුණු පැරැන්නන් ජලය ගබඩා කිරිමට පෙර ඇල මාර්ග පිළිබඳ තාක්ෂණය කි‍්‍රයාත්මක කළා විය හැක (ගුණවර්ධන 2005:4).

ජල තාක්ෂණය උපරිම අයුරින් අවබෝධ කරගත් පැරුණ්නන් ජනාවාස ගොඩ නගා ගැනීමට සුදුසු ප‍්‍රදේශයන් තෝරාබේරා ගෙන කෘෂිකාර්මික කටයුතු වල නියැළෙන්නට විය. තම ජීවනෝපායන් මත ජීවිත හැඩගසා ගැනීමට සුදුසු ප‍්‍රදේශයන් තෝරාබේරා ගෙන කෘෂිකාර්මික කටයුතු වල නියැළෙන්නට විය. තම ජීවනෝපායන් මත ජීවිත හැඩ ගසා ගැනීමට පුරුදු පුහුණු විය. ආර්යයන් දිවයිනට පැමිණ මුලින්ම ජනාවාස ගොඩනඟා ගත්තා යැයි සාහිත්‍ය මූලාශ‍්‍ර වල සඳහන් වන්නේ ගංගා ආශි‍්‍රතවය. වැව් ආරම්භ කිරිමට ප‍්‍රථම ජනයා යැපුනේ ගංගා ජලයෙන් ය. ගංගා දෙපස තම ජනාවාස පිහිටුවා ගත් ඔවුන් ගංගා ජලයෙන් වී වගාව සිදු කරන ලදි. ගඟට බැඳි පෙම අතීතයේ සිටම අද දක්වාම එලෙස ම පවති. අතීත ස්වභාවයට බොහෝ වෙනසක් නොදක්වමින් අද ද මාලදොල ප‍්‍රදේශයේ වළවේ ගෙඟහි උප නිම්නයක් වූ වේලිඔය අතු ගංගාවේ දෙපස ජනතාව වී වගාව දෙකන්නයේම සිදු කරයි. ඹබරකන්ද දිය ඇල්ල ලංකාවේ උසම දිය ඇල්ල ලෙසින් ජල ධාරාව මුහුදට වැටෙන්නේ වළවේ මෝයෙනි. මාලදොල ප‍්‍රදේශය කඳු වලින් වට වූ ගස්කොළන් බහුලව ජල පෝෂක ප‍්‍රදේශයකි. කෙතරම් නියඟ වකවානුවක වුවද නොසිදෙන ජලධාරාව නිසා ගොවීන් ට තම වී වගාව සඳහා බාධාවක් නොවන්නේය. මෙම අධ්‍යයනයේ මුල් භාගයේ ප‍්‍රදේශයේ භූගෝලිය පිහිටීම හා උප නිම්නයේ ඇති වාරි හා කෘෂි පද්ධතිය පිළිබඳ සාකච්ඡා කරනු ලබයි. වාරි තාක්ෂණය හඳුනා ගැනීම හා පවතින විශේෂතා පිළිබඳව සලකා බලනු ලබයි.

වාරි පද්ධතියකට වැදගත් වන්නේ භූගෝලිය පිිටීමයි. ස්වභාවික ජල පහරක් වුව ද ඉදිරි ගමන් මග තීරණය කරන්නේ භූගෝලිය පිහිටීම අනුවය. සියවස් ගණනකට පෙර ජනාවාස වූ මෙම ප‍්‍රදේශය තුළ පවතින්නේ සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික රටාවකි. නූතනයේ දක්නට ලැබෙන වාරි සම්ප‍්‍රදායට එහා ගිය ස්වභාව ධර්මය උපයෝගි කරගනිමින් නිර්මාණය කර ගත් වාරි පද්ධතියක් හඳුනාගත හැක. උදාහරණයක් ලෙස ගතහොත් ස්වභාවික ගල්පර උපයෝගි කර ගනිමින් ඇළ මාර්ග නිර්මාණය කර ඇත. කෘෂි පද්ධතියේ හා වාරි පද්ධතියේ පවතින්නේ අන්න්‍යෝන්‍ය සම්බන්ධතාවකි. ඒ අනුව, මානවයාගේ හැඩගැසීම සිදු වේ. ගැමියන් හිමි කර ගත් කෘෂිකාර්මික ජීවන තත්ත්වය ඇඟයීම ද සිදු කරනු ලබයි. වළවේ ගෙඟහි උප නිම්නයක් වූ වේලිඔය උප නිම්නයේ වාරි හා කෘෂි පද්ධතිය අධ්‍යයනය උක්ත පරිදි සිදු කරනු ලබයි.

යාපා නම් රජ කෙනෙකු සතුරන් පරදවන අදහසින් උඩකට්ටුවේ සිට පහත කට්ටුවට ගමන් කරන විට උග්ගල් අලුත්නුවර මාළිගාවේ නවාතැන් ගෙන සතුරන් දිනා ජය ලැබුවහොත් ඒ ගම ස්කන්ද කුමාර දිව්‍ය රාජයෝත්තම දේවියන් වහන්සේට පුද කරන බව පොරොන්දු වී යුද්දෙන් ජය ගෙන එහි ඇවිත් උග්ගල් අලුත්නුවර දේවාලය කරවා ආපසු ඌව-වෙල්ලස්ස බලා ගමන්කරන මාර්ගය මාලදොළ හරහා වැටි තිබිණ. ගමන අතරතුර රජු විඩා නිවා ගැනීමට හමු වූ දොලෙන් ජලය ස්නානය කරන අතර තුර රජුගේ මාලය ගඟට වැටී ඇත. එ බැවින් මාලය වැටුණු දොල “මාලදොල” ලෙස හැඳින් වූ බව ජනප‍්‍රවාදයේ එයි. එ මෙන්ම මාලයක් වැනි කඳු වළල්ලක් මැදින් ගලා යන දොල නිසා “මාලදොල” වූ බව ද ජනප‍්‍රවාදයේ එයි. වර්තමානය වන විට පවුල් 88ක් පමණ ගම්මානයේ ජීවත් වෙති. බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ පිහිටි සුන්දරත්වයෙන් පිරිපුන් ගම්මානයක් ලෙස දැකබලා ගත හැක. කඳු වළල්ලකින් මැදිව පිහිටා තිබිම හේතුවෙන් කාගේත් නෙත්සිත් ඇඳබැඳ තබා ගැනීමට සමත් වෙයි. දීර්ඝ කාලයක් ඔස්සේ නොවෙනස්ව පවතින කෘෂි සමාජයක් හා වාරි පද්ධතියක් වත්මන ද දැකබලා ගත හැක. මාලදොල ගම්මානයේ ජීවත් වන සියලු දෙනා ම වී වගාව තම ජීවනෝපාය කර ගනිමින් ජීවිකාව හැඩ ගසා ගනි. සිනිනක්කර කුඹුරු ඉඩම් සියලු දෙනාටම හිමි ව ඇත්තේ පරම්පරාවෙනි.

මුල්කාලීන ව පදිංචි වූවන් කෘෂිකාර්මික කටයුතු සඳහා සුදුසු භූමියකින් හෙබි නිසා ජනාවාස ගොඩනඟා ගන්නට ඇති බව පැහැදිලි වේ. අතීතයේ පවුල් දෙකක් හෝ තුනක් පදිංචි වන්නට ඇත. අතීතයේදි ගමට ගමන් කිරිම සඳහා කඳු අතරින් අඩිපාරක් විය. කඳු මුදුනේ සිට බෑවුම ඔස්සේ පහළට බැසිම ගමට පිවිසීමට නම් අනිවාර්යය වේ. ගම්මානනේ පිට වීමට අනිවාර්යෙන් කන්ද තරණය කළ යුතු වේ. ගම්මානයේ පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වය ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක් උදා කරයි. වර්තමානය වන විට ගම්මානයට සංචාරක ආකර්ශනය ට ද පත්ව ඇත. ගම වටා දිවෙන වළල්ලක් ආකාර වූ කඳු වළල්ල නිසා අපූර්ව දර්ශනයක් මවා පායි. මාලදොළ ගම්මානය අතීත පැවැති පාලන ක‍්‍රමයන්ට මුල් තැන දෙමින් ගමේ බොහෝ කටයුතු සිදු වන්නේ ගමරාළ නමින් ප‍්‍රකට ගමේ ප‍්‍රධාන පුරවැසියාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වේ. ගම්වාසින්ගේ දෛනික ප‍්‍රධාන ම කාර්යය වන්නේ කෘෂිකාර්මික කටයුතු වල නියැලීමයි.

හල්දුම්මුල්ල ඌව පළාතේ බදුල්ල දිස්ති‍්‍රක්කය තුළ පිහිටා ඇත. බදුල්ල දිස්ත‍්‍රික්කය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර කොටසේ පිහිටි වෙන ම ම භූගෝලිය ප‍්‍රදේශයක් ලෙස හැදින්විය හැක. උතුරු හා දකුණු දිසාගත කඳු වැටි සහ ඒවාට අතරමැදි නිමින භූ දර්ශනයේ සම මුදුන් උන්නතාංශය මධ්‍ය කඳුකරයේ පැහැදිලි වියළි ප‍්‍රදේශයක් වීම දිවයිනේ කැටි වළාකුළු ඇති වන ප‍්‍රභව ප‍්‍රදේශයක් වීම කඳු බාධක හා විශාල නිම්නයකින් වට වී තිබිම වැනි භූගෝලිය ලක්ෂණ ප‍්‍රදේශයට ඒකියත්වයක් ලබා දෙයි. බදුල්ල දිස්ත‍්‍රික්කය උතුරින් දුම්බර යටි නැම්මෙන් ද නැගෙනහිරින් හා දකුණින් උස් කඳු වේදිකාවක් ද බටහිරින් මධ්‍ය කඳු නාරටියේ නැගෙනහිර මායිමෙන් ද වටවුනු මෙම ප‍්‍රදේශය සැබැවින්ම “ද්‍රෝණියකි”. මෙම බදුලු ද්‍රෝණිය මධ්‍ය කඳු නාරටියෙන් සෑහෙන පමණ මොහොර බෑවුමකින් මායිම් වී ඇති මුත් වයඹ මායිමේ පිහිටි රාගල වේදිකාවේ සිට පියගැට පෙළකින් බසින අයුරින් ද්‍රෝණියට පිවිසිය හැකි ය. ද්‍රෝණියේ සාමාන්‍ය උන්නතාංශය මීටර් 1,400ක් තරම්ය. වැලිමඩ සානුව බදුලු ද්‍රෝණිය නමුණුකුල හා මඩොල්සිම වැටී නැගෙනහිරින් හා දකුණු වේදිකා ප‍්‍රදේශයේ පැහැදිලි භෞතික ලක්ෂණ විද්‍යමාන කරවයි. නැගෙනහිර දේශාංශ 800 49ි – 810 5 අතරත් උතුරු අක්ෂාංශ 60 32 සිටි 60 43 අතර පිහිටා ඇත. හල්දුම්මුල්ල ප‍්‍රදේශය සැලකීමේ දි එය බදුල්ල දිස්ත‍්‍රික්කයේ හපුතලේ වැටිය බදුලු ද්‍රෝණියේ නිරිතදිග මායිමේ පිහිටියේ ය. (සංඛ්‍යාන නිබන්ධනය බදුල්ල දිසිත‍්‍රික්කය 2011:5). භූ විෂමතාව සලකන විට කොට්ඨාශයේ වැඩි ප‍්‍රදේශයක් මුහුදු මට්ටෙම් සිට මීටර් 305-14 (අඩි 1,000 – 3,000) අතරේ පිහිටා සුළු ප‍්‍රදේශයක් මීටර් 150 – 305 ඇති අතර (අඩි 500 – 1,000) අතර පිහිටා ඇත. මෙම උසින් අඩු ප‍්‍රදේහය නැගෙනහිර මායිමට ආසන්නව දකුණු මායිමට යාබදව පිහිටා ඇත. උතුරේ සිට දකුණට ප‍්‍රපාතාකාර බෑවුම් සහිතව විහිදෙන මෙම භූමි භාගය තුළ පිහිටි උසින් මීටර් 712 ක් වූ කොස්ලන්ද සානුව පිහිටා ඇත. හල්දුම්මුල්ල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මාලදොල ප‍්‍රදේශය උඩරට කඳුකර ප‍්‍රදේශයේ රමණීය භූමිභාගයක පිහිටි ගම්මානයකි. ඵෙතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා ප‍්‍රදේශයේ වාරි තාක්ෂණය හා කෘෂි කර්මාන්තය ඉතා විශේෂත්වයක් උසුලයි. ප‍්‍රදේශයේ මධ්‍ය වාර්ෂික මිලි මීටර් 2,000 – 2,500 ත් අතර වේ. දකුණු ප‍්‍රදේශය වන විට මි.මි. 1,500 – 2,000ත් අතර වේ. රතු සහ ෆෙසෝලර් පස විශාල ප‍්‍රදේශයක් රතු දුඹුරු පසත් වියළි කලාපීය අපරිමිත ලොම් පසත් දක්නට ලැබේ. මධ්‍ය උෂ්ණත්වය ප‍්‍රදේශයේ විවිධත්වයෙන් යුතු අතර එය 20 0 ක්‍ – 26 0 අතර වේ. ප‍්‍රදේශයට වර්ෂාපතනය අනුව සෘතු හතරකට බෙදා දැක්විය හැකිය. එනම්,

  • වසන්ත සංවහන වර්ෂා කාලය (මාර්තු – අපේ‍්‍රල් මාස)
  • නිරිතදිග මෝසම් සෘතුව (ජූනි – සැප්තැම්බර්)
  • සරත් සංවහන වසුළි සෘතුව (සැප්තැම්බර් අග සිට ජනවාරි අග දක්වා)
  • ඊසාන දිග ත්‍මා්සම් කාලය (නොවැම්බර් සිට ජනවාරි අග දක්වා)

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ඓතිහාසික පසුබිම ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යයි. බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ හමු වූ ශිලා ආයුධ සමඟ සෙලිග්මාන් හා සැරසින් වැනි පුරාවිද්‍යඥයින් අදහස ප‍්‍රාග් මානවයා මෙම ප‍්‍රදේශයේ ජීවත් වූ බවය. වර්තමානය වන විට විද්වතුන්ගේ අධ්‍යයන තුළින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් හඳුනා හැකිය. මෙහිදි ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන රැුසක් සොයාගත හැකි විය. අතීතයේ සිටම මානව ජනාවාසකරණයට සුදුසු ප‍්‍රදේශයක් ලෙස හඳුනා ගත හැකිය. අතීත මානවයාගේ සංචාරක දිවිපෙවතෙහි වේලිඔය ගංගාව වැදගත් ගමන් මාර්ගයකි. වේලි ඔය මුහුදට වැටෙන්නේ වලවේ නාමයෙන් අම්බලන්තොට ප‍්‍රදේශයෙනි. රට මැද මානවයා වේලඔය දිගේ පහළට ගමන් කර වෙරළබඩ ට ළඟා වූහ. වෙරලබඩ සිටි මානවයා වලවේ ගංගාව ඔස්සේ පැමිණ වේලිඔය දෙසින් මධ්‍යම කඳුකරයට පිවිසියහ. එබැවින් වළවේ මිටියාවතේ දෙපස බොහෝ ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන රැසක් හමු වේ. මාලදොල ගම්මානය ජනාවාස වීම පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවද ඓතිහාසික මූලාශ‍්‍ර වල ගම්මානය පිළිබඳ සඳහන් වේ. මාලදොල ප‍්‍රදේශයේ ඓතිහාසික පසුබිම පිළිබඳ ව සලකා බලන විට මී වසර 500ට ඉහත දී යාපා නම් යුව රජ කෙනෙකු අලුත් නුවර සිට මෙම මාර්ගය හරහා යුධ කටයුත්තක් සඳහා ඌව වෙල්ලස්ස බලා යන ගමනේ දි වැදගත් නැවතුම් ස්ථානයක් ලෙස මාලදොල ප‍්‍රදේශය හඳුන්වා දිය හැක.

ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංචාරක දිවිපෙවත පිළිබඳ අදහස් දක්වන පුරාවිද්‍යාඥයින් බොහෝ දෙනාගේ අදහස අතීත මානවයා වළවේ ගඟ දිගේ වෙරළට ගමන් කළ බවත් වෙරළේ සිට කඳුකරයට ගමන් කිරිමට වළවේ ගඟ යොදා ගත් බව ය. වර්තමානයේ කූරගල වැනි ස්ථාන වල සිදු කළ පර්යේෂණ වලින් ඒ බව පැහැදිලි වී ඇත. මෙකි සාධක තුළින් ගම්‍යමාන වෙන්නේ ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස මෙම ප‍්‍රදේශයේ පැවැති බවය. සාහිත්‍ය මූලාශ‍්‍ර ගණනාවකම මාලදොල ගම්මානය පිළිබඳ සඳහන් වේ. ඒ අතර සොරගුණේ දේවාලය පිළිබඳ ලියැවී ඇති ලේකම් මිටියේ හා දේවාල තුඩපතෙහි සඳහන් වන ආකාරයට අතීතයේ මාලදොල ගම්මානය හේවා ගම්මානයකි. රජයට යුද අවස්ථාවන් හිදි මෙන්ම ප‍්‍රාදේශීය රජවරුන්ට විශේෂයෙන් සේනාව සැපයීමට භාරව සිටි බව එහි සඳහන් වේ. අතීතයේ මාලදොල ගම්මානය මැදින් වැටි තිබුණ මාර්ගය යුද කටයුතු සඳහා රජවරුන් ගමන් කළ බව සඳහන් වේ. ප‍්‍රාදේශීය පාලකයෙකු වූ යාපාබණ්ඩාර රජු අලුත් නුවර ප‍්‍රදේශයේ පාලකයෙකු සමඟ යුද වැඳී ජය ලබා ගමන් ගත්තේ මාලදොල හරහා බව සොරගුණු දේවාල මහ ලේකම් මිටියේ සඳහන් වේ.

දේවාලයේ බණ්ඩාර මහතාට පාරම්පරිකව අයත් පුස්කොළ ලේඛන රාශියකම දේවාලය හා සම්බන්ධ තොරතුරු වලදි මාලදොල ගම්මානය පිළිබඳ සඳහන් වේ. ප‍්‍රදේශයේ පවතින මඩ සහ ගොඩ ඉඩම් රාශියකම අයිතිය සතුව පවතින්නේ දේවාලයටයි. එමෙන්ම මෙම අධ්‍යයනයේ දි පුරාණ ගමරාළ 1900 ගණන් වල මාලදොල, බෝගන්දන හා කළුපහන ප‍්‍රදේශයේ වෙල් විදානේ වශයෙන් කටයුතු කළ ඞී.එම්. රංබණ්ඩාගේ දිනපොත් මූලාශ‍්‍ර වශයෙන් වැදගත් විය. වෙල් විදානේ වශයෙන් කටයුතු කිරිම් සියල්ලම කෘෂිකාර්මික ගැටළු විසදීම් මෙන්ම නීත්‍යානුකූල සියලු පාලන ක‍්‍රමයන්ගේ සටයන් තබා ඇත.

වළවේ ගඟ පෝෂණය කරන ඇළදොළ ප‍්‍රදේශයේ උතුරු කෙළවරේ සිට ප‍්‍රපාතාකාර බෑවුම් ඔස්සේ ගලා බැසීම ජල පරිවහන රටාවේ කැපී පෙනෙන ලක්ෂණයකි. ලංකාවේ දර්ශනීය වූ දිය ඇළි අතුරින් උස ම දිය ඇල්ල වන අඩි 894ක් උස බඹරකන්ද දිය ඇල්ල ආරම්භ වන්නේ වළවේ ගංගාෙවහි ආරම්භක ප‍්‍රදේශයෙනි. පාරිසරික සුන්දරත්වය විදහාපාන ස්ථානයක් මෙන් ම ජල වහන රටාවේ වැදගත් ස්ථානයක් ද හිමි කර ගනී.

වළවේ උප නිම්නය වූ මාලදොළ ප‍්‍රදේශයේ වාරි හා කෘෂි පද්ධතිය අධ්‍යයනය

මාලදොළ ප‍්‍රදේශයට උතුරින් පටන් ගන්නා වේළිඔය කුඩා කුඩා දිය පහරවල් කිහිපයක එකතුවෙන් නිර්මාණය වී ඇත. වීරකෝන් ගම, කළුපහන, නාරංමණ්කඩ පසු කරමින් පැමිණෙන විට මාලදොල හමු වේ. ප‍්‍රදේශයේ ජනතාව අතීතයේ සිට ම ගොවිතැන් බතින් ජීවත් වූවෝ වූහ. ප‍්‍රදේශයට උචිත පරිදි වාරි පද්ධතිය සකසා ගනිමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරිම දැකගත හැක. මුහුදු මට්ටමේ සිට අඩි 700ක පමණ උසින් පිහිටා ඇති ප‍්‍රදේශයක් වන අතර සතර දිසාවෙන්ම කඳු වලින් වට වී ඇත. කෂිකාර්මික කටයුතු වල දි වැදගත් කොටස වන්නේ වාරි පද්ධතියයි. එ බැවින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍යය ජලය ලබා ගැනීම සඳහා ප‍්‍රදේශයට උචිත වාරි පද්ධතියක් නිර්මාණය කර ගැනීම වැදගත් වේ. වළවේ උප නිම්නයේ වාරි පද්ධතිය විශේෂ බවක් උසුලන්නේ අතීතයේ නිර්මාණය කළ වාරි පද්ධතියක් වීම හේතුවෙන් ය. වේලිඔය ගඟ කේන්ද්‍ර කරගනිමින් අක්කර 35 පමණ වූ කුඹුරු සඳහා ජලය ලබා ගනී. මහඇල්ලේ වල ස්ථානයෙන් අමුණක් බැඳ නිත්තමළුව වෙල් යායට ජලය ලබා ගැනීමට මුල් කාලීන ව ගොවින් කටයුතු කර ඇත. මුල් කාලීන ව අමුණ ලාද දමා (මහ කඳන්), පිටපලු හරහට දමා, ගල් දාලා, ජලය කාන්දු නොවීමට පිදුරු දමා නිර්මාණය කර තිබු බව ගමරාළ ප‍්‍රකාශ කරයි. පසුව ඇළ නිර්මාණය කර ජලය ලබාගෙන ඇත අමුණ නිසා ජලය අඩු කාල වල දි පවා කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය ලබා ගත හැකි විය.

උප නිම්නයේ වාරි තාක්ෂණය හඳුනා ගැනීම

ප‍්‍රදේශයේ කෘෂි කාර්මික කටයුතු වලදි විශේෂ වාරි තාක්ෂණ ක‍්‍රමයන් හඳුනා ගත හැකි ය. විශේෂයෙන්ම ඔවුන් ප‍්‍රදේශයට විශේෂ වූ වාරි තාක්ෂණ ක‍්‍රමයක් යොදාගෙන ඇත. භූගෝලිය පිහිටීම අනුව තාක්ෂණය උපයෝගි කර ගැනීමට ගොවීන් කටයුතු යොදා ඇත. සියලු ම කුඹුරු වලට ජලය ලබා ගත හැකි පරිදි වාරි පද්ධතිය නිර්මාණය කර ඇත. ගඟ දෙපැත්තෙහි ම කුඹුරු වලට ජලය ලබා ගත හැකි වන පරිදි අමුණු බැඳ ඇළ මාර්ග සකසාගෙන ඇත. ජලය කුඹුරේ ප‍්‍රමාණයට ලබා දීම සඳහා කට්ට කඳ යොදාගෙන ඇත.

ප‍්‍රදේශයේ පවතින භූගෝලීය තත්ත්වයන්ට අනුව වාරි පද්ධතිය අධ්‍යයනය

වාරි පද්ධතියකට වැදගත් වන්නේ ප‍්‍රදේශයේ පවතින භූගෝලිය පිහිටීමයි. භූගෝලිය වශයෙන් මාලදොළ ප‍්‍රදේශය ගත්විට මධ්‍යම කඳුකරයේ කඳු වළල්ලකින් වට වී නිර්මාණය වූ ගම්මානයකි. එ මෙන්ම ලංකාවේ ප‍්‍රධාන ගංගාවක් වූ වළවේ ග ෙගහි ආරම්භය හා ජල පෝෂක ප‍්‍රදේශය වන්නේ මෙම ප‍්‍රදේශයයි. ගුරු කඳුරු ඔය, මාලපේ ඔය, කඳවටුන ඔය, කුඩා දිය පහරවල් වලින් සැදුන බඹරකන්ද දිය ඇල්ල ද කළුපහන කඳුවැටියෙන් දැකගත හැක. අනතුරු ව ආරම්භ වන වේළිඔය ගංගාව ඉතා බෑවුම් ප‍්‍රදේශයක් ඔස්සේ පහළට ගලා බසියි. කඳු අතරින් කුඩා දිය පාරවල් ද එක් වීම හේතුවෙන් ටිකෙන් ටික ජල කඳ ප‍්‍රමාණයෙන් විශාල වේ. එ මෙන්ම පවතින කඳු බෑවුම් හේතුවෙන් දිය ඇලි කිහිපයක්ම දැක ගත හැක. ආරම්භයේ බඹරකන්ද දිය ඇල්ල සහ මාලදොල ගමෙහි ආරම්භයේ පිහිටා ඇති මහඇල්ලේ වල කුඩා ඇල්ලේ වල යන දිය ඇලි විශේෂ වේ.

වේලිඔය ගංගාෙවහි පවතින භූගෝලිය තත්ත්වයට අනුකූල වන පරිදි වීම වී වගාවට අවශ්‍ය වාරි පද්ධතිය පැරැන්නන් විසින් නිර්මාණය කරගෙන ඇත. ප‍්‍රදේශයේ භූගෝලිය වශයෙන් පවතින්නේ දැඩි කඳු හා බෑවුම් සහිත පිහිටීමයි. එබැවින් ජලය ලබා ගැනීම සඳහා ඔවුන් විවිධ උපක‍්‍රම භාවිත කර ඇත. ඉහළින් පවතින කුඹුරු වල සිට පහළ කුඹුරු වලට ජලය ගලා එන ලෙස බෙත්ම ක‍්‍රමය යොදා ගෙන ඇත. භූගෝලියව පවතින බෑවුම් ස්වභාවය නිසා කුඹුරු සකස් කර ඇත්තේ හෙල්මළු ක‍්‍රමයට ය. එ බැවින් කුඩා ලියැදි දැකගත හැක. ප‍්‍රධාන ඇළ මාර්ගයෙන් ජලය ඇළ මාර්ගය අසළ කුඹුරු වලට ලබා දුන්න ද ප‍්‍රධාන ඇළ මාර්ගයෙන් දුර පවතින කුඹුරු සඳහා කුඩා ඇළ මාර්ග ඔවුන් යොදාගෙන ඇත. එම කුඹුරට පමණක් ප‍්‍රමාණවත් ජලය ගෙන යා හැකි ඇළ මාර්ග කුඩා ගල් වැටි දෙපසින් යොදා සකස් කර ඇති ආකාරය වර්තමානයේ ද හොදින් ආරක්ෂා වී ඇත. අතීතයේ වූ නිර්මාණය වර්තමානයේ ද කිසියම් වූ ආකාර මැදිහත් වීමකින් තොරව ආරක්ෂා වී පවති.

සෑම කුඹුරකට ම ජලය ගෙන යා හැකි කුඩා ඇළවල් මෙසේ නිර්මාණය කර ඇත. භූගෝලිය පිහිටීම උපරිම අයුරින් දුෂ්කර වුව ද යහපත් ලෙස වාසිදායක ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇත. තැනිලා භූමි කිසිසේත් නොවන හෙයින් පහළට ජලය රැගෙන යාමේ දි ජලයේ පීඩනය ගැන සැලකිලිමත් වී ඇති ආකාරය හොඳින් පැහැදිලි වේ. ජලයේ පීඩනය වැඩි වුවහොත් ඇළ වේලි කැඩි යා හැකි ය. එම නිසා එයට උපක‍්‍රම වශයෙන් කුඩා ජල කඳක් ප‍්‍රවාහනය කළ හැකි ලෙස කුඩා ඇළ මාර්ග විටින් විට නැම්ම සහිත ව නිර්මාණය කර ඇත. හෙල්මළු ක‍්‍රමයට පවතින කුඹුරු බැවින් ජලය උපරිම අයුරින් ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කුඹුරකින් කුඹුරකට ජලය ලබා ගැනීම දැකගත හැක. ඉහළින් පවතින කුඹුරට වැඩි ජලය පහළ කුඹුරට ප‍්‍රයෝජනයට ගැනීමට කටයුතු කර ඇත. කුඹුරු හෙල්මළු ආකාරයට පඩිපෙළක් මෙන් දිස්වේ. මෙම ස්වභාවයට ගැලපෙන ආකාරයෙන් ජලය ලබා ගැනීම සඳහා බෙත්ම ක‍්‍රමය යොදා ගනී. ජලය අපතේ යාමක් සිදු වන්නේ නැත.

ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය අධ්‍යයනය

වර්තමානයේ අතීත ක‍්‍රම භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු වල නියැළෙණු දැක ගත හැක. සම්ප‍්‍රදායෙන් එහාගිය ගොවිතැන් කටයුතු කිරීමට ඔවුන් කැමත්තක් දක්වන්නෙ නැත. යන්ත‍්‍රසූත‍්‍ර භාවිතයට වඩා අතීතයේ සිට පැවත එන අම්බරුවන් යොදාගෙන සී සෑම, ගොයම් අච්චලය මැඩවීම යනුවෙන් ඔවුන් හඳුන්වන අස්වැන්න වෙන් කර ගැනීම වර්තමානයේ ද ගවයන් යොදා ගෙන සිදු කරයි. සම්ප‍්‍රදායික අත්තම් ක‍්‍රමය අනුසාරයෙන් එකිනෙකා සහයෝගයෙන් කටයුතු කරනු දැක ගත හැක. අතීත ජල කළමනාකරණය අදටත් එ අයුරින් ම භාවිත කරනු ලබයි.

ප‍්‍රදේශයේ කෘෂිකාර්මික ස්වභාවය හා මිනිසුන්ගේ හැඩ ගැසීම් අතර අන්තර් සම්බන්ධතාව

මාලදොළ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. යල මහ දෙකන්නය වී වගා කරමින් අස්වැන්න ගෙට ගෙන ඒම ඔවුන්ගේ එක ම අභිලාෂය වේ. වී වගාව ඔවුන් අනිවාර්යෙන්ම සිදු කළ යුතු යැයි ඔවුන් කල්පනා කරනු ලබන අතර හැඩ ගැසි සිටින්නේ වී වගාව සිදු කර එයින් යැපිමටයි. මහා පරිමාණ වී වගාවකට වඩා සැහැල්ලුවෙන් සතුටින් පහසුවෙන් ගම්වාසින් වී වගාව සිදු කරයි. මඟ තොටේ දි වුවද මුණගැසුණු විට කතා බහ කරන්නේ කුඹුර පිළිබඳව ය. ඉතා විශේෂ කෘෂිකාර්මික ස්වභාවයක් ප‍්‍රදේශයේ දැකගත හැක. වර්තමානය වන විට ද සම්ප‍්‍රදායික ක‍්‍රම අනුගමනය කරමින් ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි. සෑම කටයුත්තක දී ම එකිනෙකා අතර අන්තර් සහයෝගයෙන් කටයුතු කිරිම දැක ගත හැක. ශ‍්‍රම හුවමාරුව සෑම ගොවිතැන් කටයුත්තක දී ම දැකගත හැක. ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට ප‍්‍රථමයෙන් ඔවුන් සිදු කරනු ලබන්නේ අමුණ හා ඇළ එළිපෙහෙළි කර ජලය රැගෙන යාමට සුදුසු ලෙස සැකසීමයි. ඒ සියලු කටයුතු ගමේ ගමරාළගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි. ඒ සඳහා ගොවීන්ගේ එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති ගොවි සංවිධානයක් ද වර්තමානයේ කි‍්‍රයාත්මක වේ. සියලු දෙනා ම එක් දිනයක් නියම කරගෙන එදිනෙට රැස් වී අමුණ හා ඇළ මාර්ග නව කන්නය සඳහා අලුත් වැඩියා කරනු ලබයි. ඉන් අනතුරු ව නියමිත කාලයක් නියම කරගෙන පුරන් හීය හානු ලැබේ. පුරන් හීය හෑමෙන් අනතුරු ව නියර බැදීම ආරම්භ කරනු ලබයි. ඉන් අනතුරු ව නියම කර ගත් දිනට පුරන් කොටා අවසන් කර පැළ තවාන් දමනු ලබයි. පුරන් හීය හෑමෙන් අනතුරුව වල් පැළැටි පොහොර වීමට කාලයක් ඉඩ හරිනු ලබයි. පැළ තවාන් වලට නියමිත කාලය පැමිණි විට ගලවා සිටු වීම සිදු කරනු ලබයි. අනතුරු ව ගොයම නඩත්තුව සිදු කරනු ලබයි. ගොවිතැන් කටයුතු සිදු කරනු ලබන්නේ අත්තම් ක‍්‍රමයට ය. කුඹුරේ ප‍්‍රමාණය අනුව ශ‍්‍රමය කැඳවා ගනු ලබයි. බාල වැඩිහිටි සියලු දෙනා ම සිය කැමැත්තෙන් තම කුඹුරේ කටයුතු වල නියැළි සිටියි. සෑම ගොවියෙක්ම උදෑසන ම තම කුඹුර වෙත යාමට අමතක නොකරයි. පුරුද්දක් වශයෙන් නිතිපතා කුඹුරේ එහාමෙහා ගමන් කිරිම සතුන් විනාශ කරනු ලැබුවන් නැවත සැකසීම සිදු කරනු ලබයි.

අමුණ බැදීම

අතීතයේ සිටම පුරාණ ගොවීන් තම ගොවිතැන් කටයුතු සිදු කිරිමට අවශ්‍ය ජලය සපයා ගැනීමට තම අවශ්‍යතාව පරිදි ජලය රැගෙන යාමට තාක්ෂණය යොදා ගත්හ. අමුණ නිර්මාණයේ ආරම්භය සිදු වූයේ ඒ අයුරින්ය. “මේ දෑතුරෙහි ඇළ අමුණු පුවටා ආදි වූ බොහෝ කර්මාන්ත අත කම්සේ නැතිවැ කළ මැනැවැ” පූජා වලියේ සඳහන් වන බව (කහඳගම 2007:11) සඳහන් කරයි. පුරාණයේ සිටම ගොවීන් සතු වූ ඥාන සම්භාරය කැටි කර දක්වන නිර්මාණ බොහෝමයක් කෘෂිකර්මාන්තයේ ශේෂව පවති.

ගංගාව හරස් කර අමුණ බැඳ ඇළමාර්ග ඔස්සේ කුඔුරු සඳහා ජලය රැගෙන යන ලදි. පුරාණ අමුණ නිර්මාණය කර ඇත්තේ හරහට ළාද කඳන් දමා පිට පතුරු දාමා, පිදුරු කොට්ටා සහ ගල් දමා නිර්මානය කරන ලදි . අතීතයේ වෙල් විදානගේ මූලිකත්වයෙන් ගොවීන් සියලු දෙනාම සහභාගි වී අමුණ බැදීම හා ඇළමාර්ග සකස් කිරීම සිදු කරයි. වර්තමාන ගොවි සංවිධාන මැදිහත් වීමෙන් සිදු කරනු ලබයි. අතීතයේ ශුභ දිනයක් යොදාගෙන ශුභ වෙලාවක අමුණු බැඳීම සිදු කරයි. අතීතයේ මාලදොල ප‍්‍රදේශයේ අමුණ බැඳි ස්ථානයේ පූජා ගල යනුවෙන් හතරැස් ගලක් හමු වේ. අමුණ බැඳීමට පෙර බුදුන් වැඳ දෙවියන් නැමැදීමට මෙම ස්ථානය යොදා ගත් බව ගම්මුන් පවසයි. වර්තමානයේ විවිධ තාක්ෂණික ක‍්‍රම හඳුන්වා දෙනු ලැබුව ද වේළිඔය නිම්නයේ තවමත් තාක්ෂණික ක‍්‍රම හඳුනා ගත හැක. ගවයන් යොදා ගෙන සී සෑම ඒ අතරින් විශේෂ වේ. අතීතයේ වප්මඟුල යනුවෙන් හඳුන්වනු ලැබුයේ උත්සවයක් ආකාරයෙන් පැවැති නිසාය. වර්තමානයේ ද සී සෑම නියමිත කාල රාමුව තුළ සිදු කිරිමට ගොවීන් කතිකා කර ගනියි. නියමිත දින අවසන් වීමට පෙර සී සා හමාර කර ගත යුතුය. එසේ සිදු නොකරන ගොවීන්ට සෙසු ගොවීන්ගේ දෝෂාරෝපනයට ලක් වේ.

පොළොන්නරු යුගයේ ගුරුළුගෝමින් විසින් රචනා කළ අමාවතුරෙහි සඳහන් වන ආකාරයට එක් දවසක් රජුගේ වප් මඟුලෙක් වියැ. එ දවස් මුළු නුවර දෙව්නුවරක් සෙයින් සෑදුහු. රජ දෙව් පිරිස් බඳු මහ පිරිවරින් නික්මෙන්නෙන්නේ පුතණුවන් වඩාගෙණැ කෙත්වත් අබියෙසැ ගනසා දඹරුක්පයෙහි යහන් සලසා පුතනුවන් එහි වඩා හොවා උඩ විසිතුරු වියන් වටා විසිතුරු වියන් වටා කඩතුරා බඳවා රකවල් දී සව්බරිණින් සැදි ඇමති දහස් පිරිවරා කෙතට ගියේය. යනුවෙන් (කහඳගමෙග් 1997:45) සඳහන් වේ.

පූජාවලියේ වප්මඟුල පිළිබඳ සඳහන් වන්නේ මෙසේය. මෙසේ තරු පිරිවර සඳ සේ වැඩි මාගේ ඒ බෝසතාණන් පස් මැසි වූ කලැ ඒ ශුද්ධෝදන රජ්ජුරුවන් ගේ මහ පෙරහරින් යුක්ත වූ වප් මඟුලක් වියැ. එදා ඒ මුළු නුවර දෙව් නුවරක් සේ සරහා ඒ රජ ශක‍්‍ර දේවේන්ද්‍ර ලීලායෙන් සැරැසි දිව්‍ය සේනාවක් බඳු වූ මහ සෙනඟ පිරිවරා පායෙන් නික්මෙනුයේ පුතණුවන් රන්විසි ගෙයකින් වඩා ගෙනැ එකෙත්වත් කෙළවරැ ඝන වූ වැල්ලෙන් තවරා යහන් සලසා පුතණුවන් ඒ යහනට වඩා රන්තරු රිදී තරුවෙන් විසිතුරු වූ වියන් බදවා වටති අද්දා රකවල් ලවා තුමු ද ඇමති දහස් පිරිවරා කෙත් වතට වැද වප් මඟුල් කෙරෙති (පූජාවලිය 46:).

වළවේ නිම්නයේ වී වගා කරන ගොවි බිමි හි සී සෑමේ දි දැකිය හැකි අඬහැරය සිත් පිනවයි. වප් මඟුලේ අසිරිය කියාපාන අංගයක් බවට පත්ව ඇත. ගොවීන් සතු අඬහැරය පෑමේ හැකියාව හොඳින් සවනත ගැටේ. මියුරු අඬහැරය සියලු දෙනාටම අඬහැර පෑහේ හැකියාවක් නොමැත.

ඕ….. ඕ…… ඕ…… ඕ අප්පා හෝ හෝ
කැලේ තියෙන වල් තණකොළ කාපල්ලා
වෙලේ ගිහින් පෑළි වතුර බීපල්ලා
හවසට හීය ආවර කරපල්ලා

උඩි අප්පා ඕ… ඕ… ඕ… ඕ… ඕ… ඕ… ඕ
මුදුනින් යන්නේ එළ වස්සා කලාතින් බාල කළු වස්සා
කොළ මඩවාපන් මගේ අප්පේ ඕ… ඕ… ඕ… ඕ… ඕ
හීය උඩාවතෙන් යමා උඩි අප්පා ඕ හෝ

(මෙම ඡායා රූපය https://www.google.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

සිංහල ගොවියා කෙ තරම් කෘතගරුක ද යන්න ගවයාට දක්වන සෙනෙහසින් පැහැදිලි වේ. ගවයාට ඔවුන් අමතන්නේ මගේ අප්පට බුදු සරණයි දෙවි පිහිටයි යනුවෙන් ප‍්‍රාර්ථනා කරමිනියි. සී සෑමෙන් අනතුරුව ගවයා නාවා සිදු කළ සේවාවට වැඳ කෘතගුණ දක්වයි. ගෙවිලියන් තුළද ඒ බැඳීම ගෞරවය ඒ ආකාරයෙන්ම පවති. සී සාන දවසට “හී බත” යනුවෙන් ඔවුන් ව්‍යවහාර කරන බත ඉමට ගෙවිලියන් කිහිප දෙනෙකුගේ ම සහය ලැබේ.

තීතයේ සිට ම ගොවීන් තම කෙතට වැළදෙන කෘමි උවදුරු වළකා ගැනීම සඳහා විවිධ සම්ප‍්‍රදායික කෙම් ක‍්‍රමයන් භාවිත කළහ.
“ගොයම් රෝගයට කෙම් කළ යුතුය.” (සද්ධර්මරත්නාවලිය 124)
“නොයෙක් රෝගයට කෙම්පාන් කම්සේ නැතිව කළ මැනැවැ” (පූජාවලිය 381)
“රෝග තැනෙනවාද බලා
කෙම් කරුවන් සපයාලා
ඊට කරන මහිම අහලා
කෙම් කරවති මීට බලා

අල කොළ රෝග යද ලෙඩක්
කොක්කනාව කියා ලෙඩක්
උණ පතයද තවත් ලෙඩක්
මේ ලෙස ලෙඩ බලා නොයෙක්

හීන් බණ්ඩි වෙත ගොයමට
ලෙඩ බලමින් නිසි කෙම් කොට
දිය බඳිමින් කමත උසට
කමත් හෑල්ල (කහදගමගේ 1995:41)

කෙම් සිදු කිරීමෙන් ගොවීන් බලාපොරොත්තු වන්නේ කෙතට ආරක්ෂාව සපයා ගැනීම ය. ලංකාවේ විවිධ ප‍්‍රදේශ වල විවිධ කෙම් ක‍්‍රම භාවිත කරයි. පණු රෝග වලට, කෘමි උවදුරු, මැහි මදුරු හා දිලීර රෝග ඒ අතර වේ. එමෙන්ම රෝග වලට පමනක් නොව කෙතක ආරක්ෂාව ඇස්වහ කටවහ දුරු කරවා ගැනීමට විවිධ අවස්ථාවන්හි දි යොදා ගනි. විවිධ උපක‍්‍රම යනුවෙන් ද හඳුන්වා දිය හැක. යන්ත‍්‍රමන්ත‍්‍ර උපයෝගි කරගනිමින් ආරක්ෂාව සපයා ගැනීමට කටයුතු කරයි. දිය කූඩැල්ලන් සඳහා ප‍්‍රදේශයේ ගොවීන් අතීතයේ සිට ම කුඹුරේ ඉහත්තාවේ ලියැද්දේ වක්කඬේ ළඟට හණ පතුරු දමයි. එවිට හණ පතුරු කුණු වෙන විට ඒවා විෂ වීමෙන් කූඩැල්ලන් වඳ වී යනු ලැබේ. සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම පිනිස දිය හොල්මන නිර්මාණය කරනු ලබයි. උණ බටයක් ගෙනැල්ලා මැදින් විදලා බටේට වතුර වැටෙන්න ඇරලා පිරුණාම පාත් වූ විට ගලක වඳින්න සලස්වා ශබ්ධය පිට වේ. කෙතට තිබෙන ඇස් වහ කටවහ තුරන් කිරිම හා සතුන්ගෙන් වන හානිය අවම කර ගැනීමට නොපෑගුණු තැනකින් වැලි ලබාගෙන මතුරා ඉසිනු ලැබේ. ඉරිදා දිනයන්හි හිරු උදාවට පෙර වතුර මතුරා මුළු කුඹුරට ම ඉසිනු ලබයි. ගොයම් කපා කමතට ගෙන ඒමට පෙර කුඹුක් ගසක් සිටු වීම පැරණි ගොවියන්ගේ සිරිත විය. වර්තමානයේ ද ඒ අයුරින් සිදු කිරිම දැකගත හැකි ය. අස්වැන්න නෙළන කාලයේ කමත් කණ්ඩියේ කුඹක් ගසක් වරුපල්ලේ හිටවනු ලබයි. ගොම් කපා කමතේ ගොඩ කිරිමට පෙර කුඹුක් ගස හිටවනු ලබයි.

අතීතයේ සිට වළවේ උප නිම්නයේ ජනතාව තුළ පැවැති වාරි තාක්ෂණය හා පුරාණ කෘෂි සභ්‍යත්වය මැනවින් වර්තමානය වන විට ද හඳුනාගත හැකි ය.

ආශි‍්‍රත ග‍්‍රන්ථ

  • කහඳගමගේ, පියසේන (1997), කුඹුර, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • කහඳගමගේ, පියසේන (1991), කෙතක මහිම‐කමත, ආරිය ප‍්‍රකාශකයෝ, වරකාපොල.
  • කහඳගමගේ, පියසේන (1995), කෙතක මහිම‐කෙම්පහන්, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ගුණවර්ධන, රණවීර (1993), සිවුර හා නගුල, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ.
  • තෙන්නකෝන්, රැ. (1965), පූජාවලිය, ශී‍්‍ර ලංකා ප‍්‍රකාශක සමාගම, කොළඹ.
  • දළුපොත, මහින්ද කුමාර (1997), වී බිස්ස, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • නොක්ස්, රොබට් (1959), එදා හෙළදිව, ගුණසේන සමාගම, කොළඹ.
  • පීරිස්, රැල්ෆ්  (1964), සිංහල සමාජ සංවිධානය, සමන් ප‍්‍රකාශකයෝ, මහරගම.
  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (1993), ශී‍්‍ර ලංකාවේ කෘෂි ඉතිහාසය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සුමංගල ශී‍්‍ර, දේවරක්ෂිත බටුවන්තුඩාවේ (1996), මහාවංශය පළමු භාගය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

———————————————————————————————————————

මෙම ලිපිය 2017 ජූනි 25 වැනි දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

———————————————————————————————————————

පෘතුගීසි හා ලන්දේසි පාලනය යටතේ ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික ඉඩම් භුක්ති ක‍්‍රමයේ සිදු වූ වෙනස්කම්

ආර්.එම්. අශානි දිලිනි රත්නායක

ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය.

ashanidilini@gmail.com

සංක්‍ෂිප්තය

පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය හා රාජ්‍ය අතර පැවතියේ විශේෂ සබඳතාවයකි. ඉඩම් සම්බන්ධ පරම අයිතිය රජු සතු බැවින් ඉඩම් ප‍්‍රදානයේ දී මූලිකයා වශයෙන් කටයුතු කරන ලද්දේ රජු ය. නමුත්, ජනතාවට ඉඩම් මිළ දී ගැනිමට, ප‍්‍රදානය කිරිමට හා විකිණීමට අයිතියක් තිබූ බවත්, සාමාන්‍ය පුද්ගලයන් අතර ඉඩම් විකිණීම, ප‍්‍රදානය හා මිළදී ගැනීම වැනි ගනුදෙනු සිදු වූ අවස්ථා කිසිවකදී රජුගේ අවසරය ඒ සදහා අවශ්‍ය නොවූ බවත් ප‍්‍රකට වේ. එම ඉඩම් ප‍්‍රදානය සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන්ට අනුකූලව වාචිකව කරන ලද ඒවා වූ අතර ඉඩම් භුක්ති ක‍්‍රම කිහිපයක් පැරණි ලංකා සමාජය තුළ කි‍්‍රයාත්මක විය. ඒවා නම් පමුණු හෙවත් පරවේණි, අඳ භුක්තිය, උකස් ඉඩම් භුක්ති ක‍්‍රමය, දිවෙල් භුක්තිය හෙවත් සේවා භුක්තිය, විහාරගම් හා දේවාලගම් පිළිබද භුක්තිය, පසු කාලීනව පැවති ගබඩාගම්, බිසෝගම්, මුත්තෙට්ටු ආදි ඉඩම් භුක්ති ප‍්‍රාකාර රැසක් පුර්ව යටත්විජිත සමයේ මෙරට ක‍්‍රියාත්මක විය. ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ පෘතුගීසින්ගේ හා ලන්දේසීන්ගේ යටත්විජිත පාලනය යටතේ පැවති සමයේ දී මෙරට ඉඩම් පිළිබඳ නව ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක කරන ලදී. පැරණි ලාංකේය රජවරු හා සබැඳි භූපති සංකල්පය, තම ඉඩම් අත්පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් යොදාගන්නා ලද අතරම ඉඩම් බෙදාදීම පිළිබදව නව පිළිවෙත්ද අනුගමනය කරන ලදි. තෝම්බු හෙවත් ලේකම් මිටි සකස් කිරීම මඟින් ඉඩම් පිළිබඳව හා ඒවායේ ආදායම් පිළිබඳ නිවැරදි ලෙස තක්සේරු කරමින් නව බදු පැනවීම මඟින් උපරීම ආර්ථික වාසි ලබාගැනීමටත් ඒ හා සමගාමීව සිය දේශපාලන අභිමතාර්ථයන් සාක්ෂාත් කරගැනීමටත් පෘතුගීසීන් හා ලන්දේසීන් කටයුතු කරන ලදි. මෙම ක‍්‍රියා පිළිවෙත් නිසා පෘතුගීසි හා ලන්දේසි ජනපද මෙරට ස්ථාපිත වීම මත ලාංකේය ජන සමාජය විවිධ ජාතීන්ගෙන් යුත් සංකීර්ණ එකක් බවට පත්විය. විශේෂයෙන් ලන්දේසි පාලනය යටතේ කුල ක‍්‍රමය හා සාම්ප‍්‍රදායික රාජකාරි ක‍්‍රමය නිර්දය ලෙස යොදාගැනීම නිසා ජනතාව පීඩාවට පත් වු අතරම ඉඩම් වල බදු රැස්කිරීමේ අයිතිය ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ද ලන්දේසින් කටයුතු කර ඇත. මෙනිසා එතෙක් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් සමඟ සම්බන්ධව තිබූ ලාංකේය ඉඩම් භුක්ති ක‍්‍රමය පෘතුගීසීන් හා ලන්දේසීන් යටතේ සංකීර්ණ ස්වභාවයක් ගන්නා ලදී.

යොමු වචන : පමුණු , අඳ භුක්තිය, උකස් ඉඩම්, දිවෙල්, විහාරගම්, දේවාලගම්, ගබඩාගම්, බිසෝගම්, මුත්තෙට්ටු, තෝම්බු

 

Image Credit: http://www.lankaprincess.com/excursions/

1. හැඳින්වීම

පූර්ව යටත්විජිත සමයේ ලංකාවේ සාම්ප‍්‍රදායික අර්ථ රටාව කෘෂිකර්මාන්තය මත පදනම් විය. එහෙයින් ජනයාගේ ප‍්‍රධාන ධනෝපාය මාර්ගය වූයේ මහ පොළොවයි. ජනගහනයෙන් වැඩි කොටසකගේ ප‍්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වූ බැවින් රාජ්‍ය ආදායමින් වැඩි කොටසක් ද එමගින් සැපයිනි. මේ නිසා සම්ප‍්‍රදායික සමාජයේ ඉඩම්වලට වැඩි වටිනාකමක් ලැබුණි. ඉඩම්, ලාංකේය සමාජයේ සමාජ ව්‍යුහය ගොඩනැගීමේදී හා කි‍්‍රයාත්මක වීමේ දී මධ්‍යගත බලපෑමක් කරනු ලබන විචල්‍යයක් වශයෙන් හඳුන්වා තිබේ1 (ගුණවර්ධන, 2006,පි. 572).

පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය හා රාජ්‍ය අතර පැවතියේද විශේෂ සබඳතාවකි. ඉඩම් සම්බන්ධ පරම අයිතිය රජු සතු බැවින් ඉඩම් ප‍්‍රදානයේ දී මූලිකයා වශයෙන් කටයුතු කරන ලද්දේ රජු ය. පැරණි ලංකාවේ ඉඩම් ප‍්‍රදානය කිරීම ප‍්‍රධාන වශයෙන් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන්ට අනුකූලව වාචිකව කරන ලද ඒවා වූ අතර ඉඩම් භුක්ති ක‍්‍රම කිහිපයක් පැරණි ලංකා සමාජය තුළ කි‍්‍රයාත්මක විය. නමුත් ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ පෘතුගීසින්ගේ (1505-1658) හා ලන්දේසීන්ගේ (1658-1795) යටත්විජිත පාලනයට නතු වීමත් සමඟ ඔවුන්ගේ අවධානය ද මෙරට ඉඩම් පිළිබදව වැඩි වශයෙන් යොමුවීම නිසා, එතෙක් මෙරට ක‍්‍රියාත්මක වූ සාම්ප‍්‍රදායික ඉඩම් භූක්ති ක‍්‍රමය වෙනස්කම් වලට බඳුන්වූ ආකාරය පිළිබඳව ප‍්‍රාථමික හා ද්විතීය මූලාශ‍්‍ර වල අන්තර්ගතයන් පිළිබඳව අවධානය යොමු කරමින් විමසා බැලීම මෙහි දී සිදුකෙරේ.

2. පුර්ව යටත්විජිත සමයේ ලංකාවේ ඉඩම් භුක්තිය

පැරණි ලංකාවේ ඉඩම් භුක්තියත් රාජ්‍ය පාලනයත් අතර පැවතියේ දැඩි සබඳතාවකි. රජු රාජ්‍යයේ සියලූ ඉඩම් හි හිමිකරු වෙතැයි දක්වා තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. සාහිත්‍ය මූලාශ‍්‍ර හා ශිලා ලේඛන වල භූපති, මහීපති, පඨවිපති, වත්හිමි හා පෘථිවීශ්වර ලෙස රජු හඳුන්වා තිබේ. මේ නිසා, ඉඩම් සම්බන්ධ පරම අයිතිය රජු සතු වූ අතරම ඉඩම් ප‍්‍රදානයේ දී මූලිකත්වය ගන්නා ලද්දේද රජු විසිනි. නමුත් වංසකතා හා ශිලාලේඛන සාධකවලට අනුව ජනතාවට ඉඩම් මිළ දී ගැනිමට, ප‍්‍රදානය කිරිමට හා විකිණීමට අයිතියක් තිබූ බවත් සාමාන්‍ය පුද්ගලයන් අතර ඉඩම් විකිණීම, ප‍්‍රදානය හා මිළදී ගැනීම වැනි ගනුදෙනු සිදුවූ අවස්ථා කිසිවක දී රජුගේ අවසරය ඒ සදහා අවශ්‍ය නොවූ බවත් ඉන්ද්‍රකීර්ති සිරිවීර පෙන්වා දෙයි2 (සිරිවීර 1997, පි. 256). වගා කරනු ලැබූ සියලු ඉඩම්වලින් බද්දක් එකතු කිරීමේ අයිතිය රජු සතු වූයේ ඔහුට තිබූ ඉඩම් හමිකමක් මත නොව රාජ්‍යයේත් ජනතාවගේත් ආරක්ෂාව ඔහු විසින් පවත්වාගෙන යාම නිසා බව කියැ වේ. දෙමළ ජනකොටස් අතර ප‍්‍රචලිතව තිබූ තේසවලමෛ නීති සංග‍්‍රහයෙන් පවා රජුට සියලු ඉඩම් අයත් වී යැයි යන අදහස ප‍්‍රකට නොවේ.

එළි නොකළ කැළෑ ඉඩම්, පාවිච්චියට නොගත් ඉඩම්, පදිංචි වී සිට හෝ වගාකොට අතහැර දමන ලද ඉඩම් හා ගොඩනැඟිලි සංකීර්ණ යනාදිය රාජ්‍ය සතු බව දක්වමින් හොති අසසාමිකං වත්ථු, පුථුවිසාමිනෝ, එනම් අස්වාමික ඉඩම් රජය සතු බව දක්වමින් මහා විහාරය සතු ඉඩම් මහසෙන් රජු විසින් තමා යටතට ගත් බව මහාවංසයේ සදහන් වේ 3 (මහාවංසෝ, 2006, පරි. 37, 8 ගාථාව). මෙලෙස නිල බලය මත පමණක් නොව පෞද්ගලික අයිතිවාසිකම් සහිත ඉඩම් රජු සතුව පැවති බව කූටකණ්නතිස්ස රජුගේ (ක‍්‍රි.පූ. 44-22) පවුල සතු කුලසන්තක ඉඩමක් පිළිබඳව මහාවංසයේ සඳහන් වීමෙන් පැහැදිලි වේ. පුරාතන ලාංකේය සමාජයේ විසූ කාන්තාවන්ට ද ඉඩම් පිළිබද අයිතියක් පැවති බව වංසකතා හා අභිලේඛන සාධක මගින් පැහැදිලි වේ. පැරණි ඉඩම් භුක්ති ක‍්‍රමය තුළ, එකළ ගම්‍ය වූ උපරිම අයිතීන් පවරන ලද ප‍්‍රදානයන්, රජුට එම ඉඩම් වලින් හිමිවිය යුතු බද්ද ප‍්‍රදානය ලද ආයතනයට හෝ පුද්ගලයාට හිමිකළ ප‍්‍රදානයන් හා ප‍්‍රදානය කරන ලද ඉඩමේ ආදායම ප‍්‍රදානය ලත් අයට හිමිකරන ලද ප‍්‍රදානයන් වශයෙන් ආකාර තුනක් යටතේ පැවති බව විද්වත්හු දක්වති. රජු විසින් සිදුකරන ලද ඉඩම් ප‍්‍රදානයන් බොහෝ අවස්ථාවල දී රාජ සභාවේ දි ප‍්‍රදානය පිළිබද ආඥාව කියවීමෙන් හා ප‍්‍රදානය ලබන්නාට අතපැන් වත්කිරීමෙන් ද ප‍්‍රදානය වාර්තාකොට තැබීම මඟින්ද සිදුකළ බව පළමු වන විජයබාහු රජුගේ (ක‍්‍රි.ව 1070-1110) පනාකඩුව තඔ සන්නසින් පැහැදිලි වේ. මේ කාර්යයෙහි නිරතව සිටි මෙයිකාප්පර් හා කුඩසලා නම් නිළධාරීන් පිරිසක් ක‍්‍රිස්තු වර්ෂ 9, 10 සහ 11 යන ශතවර්ෂ වන විට සිටි බවත් ඔවුහු ක‍්‍රිස්තු වර්ෂ 14න් පසුව සන්හස් තිරුවරංගන් සහ සන්නස් තිරුවරහන් ලෙසත් හඳුන්වා ඇති බවත් කියැ වේ 4 (සිරිවීර 1997, පි. 261.).

පුරාණ ලංකාවේ පැවති ඉඩම් භුක්තිය පමුණු හෙවත් පරවේණි එනම් පරම්පරාවෙන් පැවත ආ භුක්තියයි. මෙම ඉඩම් මිළ දී ගැනීමෙන් ද රජුන් හා පුද්ගලයන් විසින් ආගමික ස්ථාන ආදියට පමුණු ඉඩම් පිදීම මඟින් ද හිමි විය. පමුණු ඉඩම් දැරුවෝ, එම ඉඩම් වෙනුවෙන් රජයට සේවාවන් ඉටු කිරීමට කැපවී නොසිටි නමුත් ඇතැමි අවස්ථාවලදී ආගමික ආයතනයකට හෝ වෙනත් මහජන ආයතනයකට කිසියම් ගෙවීමක් කර ඇත. නිදසුනක් ලෙස හත්වන විජයබාහු රජුගේ, දෙවුන්දර දේවාල තඔ සන්නස අනුව රජුගෙන් පරවෙිණි ප‍්‍රදානයක් ලද අය විසින් වසරකට පනම් 10ක් දෙවුන්දර විෂ්ණු දේවාලයට ගෙවිය යුතු විය.

කිසියම් අයෙකුට ස්වකීය ඉඩමක් අස්වැන්නෙන් අඩක් දෙන පොරොන්දුව පිට වගාකරවා ගැනීම අඳ භුක්තියයි.5 (එම, පි. 265). පූජාවලියේ, අස්වැන්නෙන් තුනෙන් එකක් ඉඩම් හිමියාටත්, තුනෙන් දෙකක් වගා කරන්නාටත් හිමි වූ තුනෙන් අෙඳ නම් ක‍්‍රමයක් ගැන සදහන්ව තිබේ. සමාජයේ ඉහළ ස්ථරවලට අයත් වූවෝ ද වෙනත් ?කියා වල නිරත වූවෝ ද මේ ක‍්‍රමය භාවිත කරන්නට ඇති අතර මෙම ක‍්‍රමය මධ්‍ය කාලීන ලංකා සමාජය තුළ ප‍්‍රචලිතව පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. උකස් ඉඩම් භුක්ති ක‍්‍රමය ද ක‍්‍රිස්තු වර්ෂ 9, 10 සියවස් වලදී ප‍්‍රකටව පැවති ක‍්‍රමයකි. චංචල දේපල උකස් කිරීමේ චාරිත‍්‍රය පිළිබඳ තොරතුරු බුත්සරණ, සද්ධර්මාලංකාරය වැනි මූලාශ‍්‍ර මගින් ප‍්‍රකට වේ.

දිවෙල් භුක්තිය හෙවත් සේවා භුක්තිය යනු සේවා කාලය තුළ භුක්ති විදීම උදෙසා රජු විසින් නිළධාරීන්ට පවරන ලද ඉඩම්ය. මේ ඉඩම් වල නියම අයිතිය රජු සතුවිය. සේවා භුක්තිය සඳහා දිවෙල් ඉඩම් නිළධාරීන්ට පමණක් නොව රජමාළිඟයට විවිධ භාණ්ඩ සැපයු නීත්‍ය සේවා සැපයූවන්ට ද හිමිවිය. රජු විසින් වගාකරවන ලද ඉඩම් හෝ රජුට අයත් ඉඩම් හෝ මෙලෙස දිවෙල් ප‍්‍රදානයන් ලෙස ලබාදුන් අතර එතෙක් මෙම ඉඩම් හා ගම්බිම්වලින් රජුට ලැබණුු බද්ද, එයින් පසු දිවෙල් ලද්දාට හිමිවිය. නිශ්ශංකමල්ල රජු සමයට අයත් ශිලා ලිපි (ක‍්‍රි.ව 1187-1196) වල ද 15 වන සියවසට අයත් ඔරුවල තඔ සන්නසේ ද දිවෙල් ප‍්‍රදාන ගැන සඳහන්ව තිබේ. වංස කතා වල දිවෙල් පොත්, ජීවිත පොත්ථකිය නම් ලේඛනයක් හා දිවෙල් පොත්කරණ නම් නිලයක් ගැන සඳහන් වීම නිසා ඉන් අදහස් වන්නට ඇත්තේ දිවෙල් ඉඩමි පිළිබඳ ලේඛනයක් හා ඒ හා සබැඳි කටයුතු වාර්තා කළ නිලයක් පිළිබඳව බව විද්වත්හු දක්වති6 (එම, පි.268.).

ඉඩම් භුක්ති ක‍්‍රම අතරින් පුළුල් අයිතිවාසිකම් සහිත භුක්ති ක‍්‍රමයක් වූයේ, ආගමික ආයතන සතුව තිබූ විහාරගම් හා දේවාලගම් පිළිබද භුක්තියයි. මේ ඉඩම් රජයට අයවිය යුතු බදු හා සේවාවලින් නිදහස් විය. එම බද්දත් සේවාවත් ඉඩම් ප‍්‍රදානය ලත් ආයතනය සතු කර ඇත. මෙබඳු පුළුල් අයිතිවාසිකම් නිසා ක‍්‍රිස්තු වර්ෂ 9, 10 සියවස් පමණ වන විට විහාරාරාම වලට එකතු වියයුතු බදු එකතු කිරීමට නිළධාරීන් පත්කර තිබේ. මෙබඳු ඉඩම් ආයතනය විසින් විකිණීම, උකස් කිරීම හෝ වෙනත් අයෙකුට ප‍්‍රදානය තහනම් වූ බවට සාධක හතරවන මිහිදු රජුගේ (කි‍්‍ර.ව 956-972) ශිලා ලේඛන මඟින් ද තහවුරු වේ. විහාරාරාම වලට පමණක් නොව ඊට විවිධ සේවා සැපයූවන්ට ද ඉඩම් ප‍්‍රදානය කළ බවට සාධක වේ.

රාජ්‍ය තුළ පැවති ඉඩම්වලින් කොටසක් රජ පවුලේ ප‍්‍රයෝජනය සදහා වෙන්කර තිබුණ අයුරු කෝට්ටේ හා මහනුවර රාජ්‍ය සමයන් පිළිබදව විමසා බැලීමේ දී පෙනේ. මෙම ඉඩම් ගබඩාගම් විය. බිසවට අයත් වූ ගම් බිසෝගම් ලෙස ද හැඳින්විය. මහනුවර යුගයේ දී රජුගේ මහාවාසල ගබඩාව හැර උප ගබඩාව ද පල්ලේවාහල ගබඩාව ද තිබූ බව විද්වත්හු දක්වති7 (පීරිස්, 1956, පි.49). මේ ආකාරයෙන් විමසා බලන කළ පුර්ව යටත්විජිත සමයේ මෙරට පැවති ඉඩම් භුක්ති ක‍්‍රමය සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් මත පදනම්ව කි‍්‍රයාත්මක වූ බව පෙනේ.

3. පෘතුගීසීන් යටතේ ඉඩම් භුක්ති ක‍්‍රමය තුළ සිදුවූ වෙනස්කම්

කි‍්‍රස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට මෙරට ආර්ථික රටාව ගොවිතැන මත රඳාපැවතුණි. හත්වන භුවනෙකබාහු රජ සමයේ පටන්ම පෞද්ගලිකව ඉඩම් අත්පත් කර ගැනීමෙහි යෙදී සිටි පෘතුගීසීහු 1541 පමණ වනවිට එහි උච්චස්ථානයකට පැමිණ සිටියහ. එබැවින් හත්වන භුනනෙකබාහු රජු තමාගේ අවසරයක් නොලැබ එලෙස ඉඩම් ගැනීම තහනම් කිරීමට පවා කටයුතු කර තිබේ. කෝට්ටේ ධර්මපාල රජුගේ කාලයේදී ත්‍යාග ලෙස ලැබූ හෝ මිළ දී ගත් හෝ ගම් ප‍්‍රමාණය අනුව 1597 පමණ වනවිට ගම් 20ක පමණ හිමිකම පෘතුගීසීන් සතුවිය8 (අබයසිංහ, 2005,පි.95). 1597 සිදු වූ ධර්මපාල රජුගේ මරණයත් සමඟ කෝට්ටේ රාජ්‍යයේ ස්වාමීන් බවට පෘතුගීසීන් පත්විය. 1615 වන විට කෝට්ටේ රාජ්‍යයේ මුත්තෙට්ටු ඉඩම්වලින් විශාල ප‍්‍රමාණයක් ද පෘතුගීසීන් සතුවිය. මේ සමඟ ඉඩම් භුක්තිය පිළිබඳ විප්ලවයක් ඇරඹි බව විද්වත් මතයයි.

1597 දී පෘතුගීසී රජය විසින් විශාල වශයෙන් ඉඩම් බදුදීමේ ව්‍යාපාරයක් ආරමිභ කර තිබුණි. මේ ව්‍යාපාරයේ අසංවිධිත බව නිසා 1603 පෙබරවාරි 19 දින පෘතුගාල රජු විසින් ආඥාවක් නිකුත් කරමින් එතෙක් පෘතුගීසි පාලකයන් සිදුකළ ඉඩම් බෙදාදීම අවලංගු කරන ලද අතර, ලංකාවේ පෘතුගීසීන් සතුවූ ඉඩම් පිළිබදව දේශපාලනික මූලධර්මවලින් පූර්ණය වූ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. එම ප‍්‍රතිපත්තියට අනුව මෙරට යුධ කටයුතු සදහා වැයවන වියදම් හා ශ‍්‍රමය මෙරටින්ම පියවා ගැනීමේ බලාපොරොත්තුව ප‍්‍රමුඛ විය. පෘතුගාල රජු, පෘතුගීසි පදිංචිකරුවන් ලංකාවට ඇද ගැනීමට යොදන කාන්දම ගොඩමඩ දෙකම සරුසාර පලබර වූ ලංකා පොළවයි9 (එම, පි. 96). දැක්වූයේ එමඟින් ඔවුන්ට සැළසෙන වාසි අතිමහත් බැවිණි.

3.1. ඉඩම් පැවරීමේ බලය වෙනස්වීම

පැරණි ලංකාවේ පැවති ඉඩම් භුක්තියට අනුව, ඉඩම් පිළිබඳ පරම අයිතිය හිමිවූයේත්, ඉඩම් පැවරීමේ දී මූලිකයා වූයේත් රජු ය. පැරණි ලාංකේය රජවරු හා සබැඳි භූපති සංකල්පය, තම ඉඩම් අත්පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා ද පෘතුගීසීන් විසින් යොදාගන්නා ලදී. ඊට අනුව පෘතුගීසීන් අත්කරගත් ඉඩම් ද පෘතුගීසී රජු සතු විය. පෘතුගාල රජුට ලංකාවේ ඉඩම් බෙදාදීමේ කටයුතු හා ඍජුව සම්බන්ධවීමට නොහැකි බැවින් එම කටයුතු මෙහෙයවීම සඳහා ‘.ඉඩම් බෙදාදීමේ කාර්යභාර මණ්ඩලයක්’ පත්කරන ලදී. ඊට, කොචින්හි රාජගුරු ප‍්‍රසාදි තැන, ලංකාවේ කපිතාන් ජෙනරාල් හා ආදායම් පාලක යන තිදෙනා ඇතුළු විය. පුද්ගලයන් අතර ඉඩම් බෙදාදීම හා ඒවාට නියමිත බිම්බද්ද නියම කිරීම මොවුන්ගේ කාර්යභාර්ය විය. විටෙක රාජප‍්‍රතිරාජයෝද ඊටත් වඩා කපිතාන් ජෙනරාල්ලා ද ඔවුනොවුන් පරයා ඉඩම් බෙදාදීමේ යෙදී ඇති බව කියැවේ10 (එම, පි.101.).

බඩවැඩිලි ඉඩම් පැවරීමේ බලය රජු සතුව පැවතිය ද, පෘතුගීසීන් යටතේ එම බලය දිසාපතීන්ට ද ලැබුණු බැවින් එතෙක් සාම්ප‍්‍රදායිකව රජු සතු වූ ඉඩම් පැවරීමේ බලය ඉරිතැලී ගියේ ය11 (එම). නිදසුන් ලෙස, පස්දුන් කෝරළයේ බඩවැඩිලි ඉඩම් බෙදාදීම දොම් ප‍්‍රනාන්දු සමරකෝන් මුදලි විසින්ද පසුව දොම් කුන්ස්තන්තීනු බරෙන්තු මුදලි විසින්ද උඩපොළ හා කුරුණෑගල කෝරළේ මුළුමනින්ම පාහේ සිමන් කුරේ රාළ විසින්ද බෙදා දීමෙන් මේ බව පැහැදිලි වේ. සිංහල රජුන් කල දිසාවේ හෝ වෙනත් නිළධාරීන්ට ඉඩම් බෙදාදීමේ බලයක් නොපැවති අතර, දිසාපතීන්ට නිල පාළු හා මල පාළු ඉඩම් පැවරීමේ බලය තිබූ නමුත් එය ද සීමා සහිත එකක් විය. එහෙයින් ඉඩම් බෙදාදීම පිළිබදව මෙතෙක් පැවති සම්ප‍්‍රදාය පෘතුගීසීන් විසින් බිඳ දමන ලදී.

3.2. ඉඩම් හිමි පෘතුගීසි පන්තියක් බිහිවීම

1607 ජනවාරි 12 වන දින පෘතුගාල රජු විසින් ලංකාවේ පෘතුගීසින් සතු ඉඩම් පිළිබදව තමා සතු වූ පරම අයිතිය භාවිත කරමින් මෙරට ඉඩම් ලැබීමට සුදුසු වූවෝ ලෙස පාර්ශව කිහිපයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, පළමුවෙන්ම විවාහක පෘතුගීසීන් ද දෙවනුව දෑවැදි ලෙස ලක්දිව ඉඩම් ප‍්‍රධාන හිමිවූ පෘතුගීසී අනත් දැරියන් හා විවාහ වී ලංකාවේ නිත්‍ය වාසයට කැමති වූ ලංකා පෘතුගීසී හමුදාවේ සොල්දාදුවන් ද තෙවනුව පෙරදිග පරංගි විජිත වල සිට මෙහි පැමිණ පදිංචි වීමට කැමති වූ කි‍්‍රස්තු භක්තිකයන්ද විය. මෙම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවේ යෙදවීමේ දී පෘතුගාල රජු අවධාරණය කර සිටියේ පිට පදිංචිකරුවන් ලංකාවට ඇද ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් ඉඩම් සැළකිය යුතු බව වුවත් අසවේදු වඩාත් සැළකිල්ලක් දැක්වූයේ කරන ලද සේවයට තෑගි වශයෙන් ඉඩම් පිරිනැමීම කෙරෙහිය12 (එම, පි.97). පෘතුගීසීන්ගේ මෙම ප‍්‍රතිපත්තිය යටතේ ඉහත සඳහන් කල පාර්ශව අතර පමණක් නොව කපිතන් ජනරාල්, කපිතන් මේජර් හා අනෙකුත් කපිතාන්ලා ද ඉඩම් භුක්ති විඳින ලදී. නිදසුනක් ලෙස කපිතන් ජෙනරල්ට ඉස්තරම්ම වර්ගයේ ගම් 20ක් තිබූ අතර සියනෑ කෝරළේ මාපිටිගම, මැණික්කඩවර ආදී සරුසාර ඉඩම් ද ඒ අතර විය.

මෙයාකාරායෙන් පෘතුගීසීන් විසින් බෙදාදීමට නියමිත ගම් සියල්ල විශාලත්වය මත දෙකොටසකට බෙදුනි. ඉන් විශාල ඒවා, පළමුවෙන්ම ලංකාවේ සිටි පෘතුගීසීන්ටත්, ඊට පසු මෙහි ඒමට කැමැත්ත පළකළ පෘතුගීසීන්ටත්, උසස් නිල දැරූ පෘතුගීසි ආණ්ඩුවට පක්ෂපාත විශිෂ්ට ලෙස සේවය කරන ලද කි‍්‍රස්තියානි දහම වැළදගත් ශ‍්‍රී ලාංකිකයන්ට ද, හොඳින් සේවාකළ සාමාන්‍ය සොල්දාදුවන්ට ද බෙදා දුනි. කෝට්ටේ සිංහල හමුදාවට අයත් සාමාන්‍ය හේවායන් සදහා වෙන්වූයේ කුඩා ගම් ය. මෙපරිද්දෙන් පෘතුගීසීන් ඉඩම් ප‍්‍රතිපත්තීන් සකසද්දි පෘතුගීසී ජනපද මෙරට ස්ථාපිත වීමට අවශ්‍ය තත්වය ද ඉඩම් බෙදාදීමේ ප‍්‍රතිපත්තිය හා සහසම්බන්ධ කරගනිමින් කි‍්‍රයාවට නැංවීමට පෘතුගීසීන් ගත් උත්සාහය මින් ප‍්‍රකට විය. එතෙක් ලංකාවේ ඉඩම් බෙදාදීම පිළිබද පැවති සාම්ප‍්‍රදායික රටාවට පටහැනිව පෘතුගීසීන් විසින් ඉඩම් බෙදාදීම නිසා, 1615 වන විට ‘පෘතුගීසී ඉඩම් හිමි පන්තියක්’ මෙරට බිහිවී සිටිියේ ය. එමගින් පෘතුගීසී ජනපද ස්ථාපනය වීමක් සිදු වූ නමුත් කෘෂි ආර්ථික රටාව හා ඔවුන් සම්බන්ධ නොවීමෙන් කෘෂි ආර්ථිකය වෙනස් නොවී ය. පෘතුගීසීන් බොහෝමයක් යුධ නිල දැරූවෝ හා හමුදා භටයින් වීම නිසා ‘පංගුකාර ගොවීන් කොටසක්’ මේ හා සමබන්ධ වූ අතර ඔවුන් මත කෘෂි ආර්ථිකය රඳා පැවතුණි. මේ නිසා 17 වන සියවස මුල් කාලයේදී කෝට්ටේ රාජ්‍ය තුළ තදබල ලෙස ගොවීන් හිඟයක් පැවති බවට වාර්තා වේ.

3.3. ඉඩම් බෙදාදීමේ නීති උල්ලංඝනය

පෘතුගීසීන්ගේ ඉඩම් බෙදාදීමේ ප‍්‍රතිපත්තිය යටතේ කතෝලික දේවස්ථාන වල නඩත්තුව සදහා වෙන්කරන ලද ඉඩම්, බෞද්ධ වෙහෙරවිහාර සතුව පැවති ඉඩම් හා කුරුඳු තලන්නන් විසු වැලිතර, කොස්ගොඩ වැනි ඉඩම් ද විශාල ආදායමක් ලබාදුන් ගබඩාගම් ද බෙදාදීමෙන් වැළකී සිටිියේ එම ඉඩම් මඟින් සේවා හා ආදායම් වශයෙන් ආර්ථිකයට විශාල බලපෑමක් කළ බැවිණි.

පැරණි ලංකාවේ ඉඩම් භුක්තියට අනුව රජු සතුව විශාල ඉඩම් ප‍්‍රමාණයක් පැවතුණි. එහෙයින් ගබඩාගම් ද විශාල සංඛ්‍යාවක් විය. කෝට්ටේ මහවාසල ගබඩාවේ අවශ්‍යතා සපුරාගැනීම පිණිස සාරවත් වූ බෙලිගල් කෝරළයට අයත් කීරවැලි පත්තුවේ පමණක් මුළු ගම් ප‍්‍රමාණයෙන් 1/3ටත් වඩා (ගම් 56කින් 24ක්ම) ගබඩාවට අයත්ව පැවතුණි. අටුළුගම් කෝරළයේ මෙයාකාර ගබඩාගම් 19ක්ද මාදම්පේ, බේරුවල, බෙන්තොට, හික්කඩුව, මග්ගොන, පායාගල ආදී ලංකාවේ බටහිර වෙරළේ පිහිටි විශාල ගම් ද කෝට්ටේ රජුගේ ගබඩාගම් ලෙස පරිහරණය විය13 (එම, පි. 103). පැවති සමිප‍්‍රදායට අනුව මේ ගබඩාගම් රජුගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා මිස බෙදාදීම සඳහා නොවී ය. නමුත් පෘතුගීසී රජයේ් අභිමතය වූයේ සියලු ගබඩාගම් ප‍්‍රයෝජනය සඳහා වෙන්කිරීම නොව, මේවායින් සමහරක් බෙදාදීම ය.

පෘතුගීසීහු සිංහල රජුන් දවස බෞද්ධ හා හින්දු ආගමික ආයතන වල නඩත්තුව සඳහා පවරා දී තිබූ විහාරගම් හා දේවාලගම් පිළිබදව ද අවධානය යොමුකරන ලදී. පෘතුගීසීහු මේ ඉඩම් වලින් බොහොමයක් කතෝලික පූජක පන්තියේ හා දේවස්ථාන වල නඩත්තුව වෙනුවෙන් වෙන්කර දී තිබුණී. ඉතිරි එ්වා සාමාන්‍ය පුද්ගලයන් හට බෙදාදෙන ලදී. තෝම්බු සකස් කරන කාලය වනවිට සබරගමුව ප‍්‍රදේශවල පැවති විහාරගම් හා දේවාලගම් ගිහියන් විසින් භුක්ති විඳින ලදැයි කියැ වේ. පෘතුගීසීන් විසින් ගබඩාගම් හා සේවාගම් පමණක් නොව පෙර ලාංකිකයන් විසින් භුක්ති විඳි සේවා ඉඩම් ද පෘතුගීසීන්ට පැවරූ අවස්ථා පැවතිණි. නිදසුන් ලෙස, උඩපොළ කෝරළේ රැකව මැදපත්තුවේ පෘතුගීසී ජාතිකයෙකුට පවරා තිබූ ඉඩම් අතර එකම ගමක් විය. අටුළුගම් කෝරළයේද වූයේ එකකි. පස්දුන් කෝරළයේ පෘතුගීසීන් සතුව තිබූ ගම් 33 අතරින් ගබඩාගම් හා විහාරගම් 4ක් පමණ විය. මේ නිසා බඩවැඩිලි ගම් 29ක්ම රජය ආපසු ගෙන පසුව පෘතුගීසීන්ට පවරා දී ඇති බව තෝ්ම්බුවේ සදහන් වේ. රජය භූපති වූ හෙයින් කවරෙකු හෝ භුක්ති විදි ඉඩමක් ආපසු ගෙන තමන් කැමති කවරෙකුට හෝ පැවරීමට රජයට අයිතියක් තිබි බව සැබෑ වුවත් කෝට්ටේ රජුන්ට හිමි වූ බලතල සියල්ල තමන්ට අයත් යැයි කියූ පෘතුගීසීන් මෙසේ කිරීම නීතිවිරෝධී යැයිද තර්ක නොකළ හැකි බව විද්වත්හු දක්වති14 (එම, පි.104).

3.4. තෝම්බු සකස් කිරීම

ලංකාවේ පෘතුගීසීන් සතුව පැවති ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීමට ගෙනා නව ක‍්‍රමයක් වශයෙන් තෝ්ම්බු හෙවත් ලේකම් මිටි හැඳින්වේ. පෘතුගීසීන් විසින් කෝට්ටේ රාජ්‍ය පවරාගන්නා විට තිබූ බදු හා වෙනත් ආදායම් සියල්ල අඩංගු කොට තෝම්බුවක් සකස් කිරීමෙන් ඉඩම්වලින් ලත් ආදායම, ඉඩම් ප‍්‍රමාණය, ඒවායේ නිෂ්පාදනය, ඉඩමේ වෙසෙන පවුල් ගණන, ඔවුන්ගෙන් රජයට ලැබෙන සේවාව පිළිබදව නිවැරදි දත්ත ලබාගැනීම අපේක්ෂා කරන ලදී. තෝම්බු පිළියෙල කිරිමට පෘතුගීසීන් මෙහෙයවූ තවත් කරුණක් වූයේ ලංකාව, ගෝවේ පෘතුගීසි ආණ්ඩුවට බරක් වූයේ ඇයිදැයි දැනගැනීමේ ආශාවයි 15 (එම, පි.119). එහෙයින් තෝ්ම්බු සකස් කිරීම ලංකාව ණයෙන් මිදිමටත්, එහි ධනයෙන් නිසි ප‍්‍රයෝජන ලබා ගැනිමටත් ගතයුතු අත්‍යාවශ්‍යය පියවරකැයි හැඳින්වේ. විහාරගම් හා දේවාලගම් සඳහා පවරාදෙනු ලැබූ ඉඩම් ගැනත් එ්වායින් උපදින ආදායම් පිළිිබඳවත් තෝම්බුවෙහි තොරතුරු සදහන් කළයුතු වූ අතර තීරු බදු වශයෙන් රජයට අයවිය යුතු ගාස්තු, පෙර සිරිත අනුව රජයට හිමිවිය යුතු බදු ආදිය ද මීට ඇතුළත් වියයුතු විය.

3.5. බිම් බදු හා සේවා නියම කිරීම

පැරණි ලංකාවේ පැවති ඉඩම් භුක්තියට අනුව රජයෙන් ඉඩම් ප‍්‍රදානයන් ලැබුවෝ එම ඉඩම්වලින් ලත් ආදායම් හා අස්වනුවලින් කොටස් රජයට ලබාදීම වගකීමක් වශයෙන් සළකන ලදී. පෘතුගීසින් යටතේ එම සම්ප‍්‍රදාය මුදල් හා සේවා යන දෙඅංශයෙන්ම යුක්ත වූ ගෙවීමක් බවට පත්විය. ඒ අනුව 1614 මැයි 22 දින රැස්වූ ඉඩම් බෙදීමේ මණ්ඩලය ඉඩම් ලත් අය විසින් ගෙවිය යුතු බිම් බද්ද, ඒ ඉඩමේ තක්සේරු ආදායමින් 12%ක් වියයුතු යැයි තීරණය කළේ ය. නමුත් මේ ක‍්‍රමය යටතේ පවරාදෙන ලද ඉඩම් වල ආදායමින් 88%ක්ම රජයට අහිමි වී ඉඩම් භුක්ති විඳින්නාට හිමි විය. එහෙත් රජයට ගෙවිය යුතු බදු මුදල (බිම් බද්ද) සෙරපීමයකින් හෝ රිදියකින් කොටසක් වූ විට එය සම්පූර්ණ සෙරපිමයක් හෝ රිදියක් දක්වා වැඩිකර තිෙබි. ඒ අතරම ගම්මිරිස් වගාකළ හැකි ප‍්‍රදේශවල ඉඩම් භුක්තිකරුවන් වසර හතරක් ගිය පසු තම බිම් බද්දෙන් 1/3ක් ගම්මිරිස් වලින්ද ඉතිරි කොටස මුදලින්ද ගෙවිය යුතු විය. මෙලෙස මුදලින් බදු ගෙවීමට අමතරව ඉඩම් භුක්ති විඳින්නන් හට හමුදා භටයන් නඩත්තු කිරීමට ද සිදුවිය. සෙරපීම් 50ට අඩු ආදායම් ලද ඉඩම් මේ අනිවාර්යෙන් සේවයෙන් නිදහස් කළ මුත් එය නොසලකා හැරිබව පෙනේ16 (එම, පි.112).

නමුත් කතෝලික දේවස්ථානවලට පූජාකරන ලද ඉඩම් මෙකී බදු වලින් හා යුධ සේවා වලින් නිදහස් විය. එහෙයින්, පැරණි භුක්ති ක‍්‍රමය නොනසා රැුකගත් බවක් මින් ගම්‍ය වෙතැයි සැලකේ17 (එම,පි.114). රජයට පුද්ගලිකව සේවා සැපයූ අය ද, පාරම්පරික සේවයේ නිරත වූ කුරුඳු තලන්නන්, පෘතුගීසින්ට භාණ්ඩ හුවමාරුවෙන් සහාය වූ පාරුකරුවන්, ඇතුන් ඇල්ලීමේ නිරත පණික්කිියෝ ද රජය සතු ඇතුන්ට ආහාර සැපයූ පන්නයෝ ද, කූනම්කරුවන්ද කම්මල්කරුවන්ද මඩිහේ අංශයට අයත් මුස්ලිම් ජනයාද භුක්තිවිඳි ඉඩම් සඳහා රජයට ගෙවිය යුතු බදු හා සේවා වලින් නිදහස් විය18 (එම).

රාජකාරී ඉඩම් අයබදුවලින් නිදහස් වියයුතු යැයි බලාපොරොත්තු වුවද එයාකාර සමහර ඉඩම් සදහා ද බිම් බදු නියම කර තිබේ. කෝරළේ ගමයන් හා කනකපුල්ලේලා හා යුද්ධ සේවයේ නිරත වූ ලස්කිරිඤ්ඤ භටයන්, ආරච්චිලා, මුදලිලා හා දිසාපතීන් භුක්ති විඳි ගම් සම්බන්ධයෙන් මෙම තත්වය කි‍්‍රයාත්මක වී තිබේ. නිදසුනක් ලෙස, හේවායන් 4 දෙනෙකු හා කෝරළේ ගමයෙකුගේ බඩවැඩිල්ලක් වූ කුරුණෑගල කෝරළේ තිරගමට සෙරපීම 4ක බිම් බද්දක් නියම කිරීම දැක්විය හැකි ය. මෙලෙස ‘මුදල් ගෙවීමකට යටත්ව ඉඩමක භුක්තිය පැවරීම පැරණි ඉඩම් භුක්ති ක‍්‍රමයට මුළුමනින්ම පිටුපෑමකැයි’,19 (එම, පි.111). දක්වන විද්වත්හු, මෙසේ ඉඩම් හිමියන්ගෙන් බද්දක් අය කිරිමත් සමඟ එතෙක් කල් ඉඩම් වර්ග කිරීම සඳහා භාවිතා වූ ගබඩාගම්, නින්දගම්, පමුණුගම් යන වචන ‘බිම්බදු ගෙවූ හා රජයට සේවය සැපයූ ඉඩම් හා මෙම වර්ග දෙකෙන් මිදුණු ඉඩම්’ යනුවෙන් වර්ගීකරණයකට ලක්ව ඇතැයි පවසයි.

4. ලන්දේසීන් යටතේ ඉඩම් භුක්ති ක‍්‍රමය තුළ සිදුවූ වෙනස්කම්

1658 වන විට යාපනය අර්ධද්වීපය ඇතුළු ලංකාවේ පෘතුගීසී පාලනය යටතේ තිබූ සියළුම ප‍්‍රදේශවල ස්වාමීන් බවට පත්ව සිටි ලන්දේසීන් තමා සතු ඉඩම් පාලනයටත්, ඒවායින් නිසි පරිදි ආදායම් සම්පාදනය කර ගැනිමත් අරමුණු කොටගෙන විවිධ ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාවේ යෙදවීය. ඒ අතුරින් ඔවුන්ගේ් ඉඩම් ප‍්‍රතිපත්තියට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

4.1. තෝම්බු සකස් කිරිම හා නව බදු පැනවීම

ලන්දේසීන්ගේ ඉඩම් ප‍්‍රතිපත්තියේ ඉතා වැදගත් ලක්ෂණයක් වූයේ තෝම්බු සකස් කිරිමයි. තෝම්බු සකස් කිරිමේ මූලික පියවර කිහිපයක් පෘතුගීසීන් විසින් ගෙන තිබූ මුත් එම ලේඛන වලින් බොහොමයක් යුද්ධය නිසා විනාශ වී තිබුණි. මෙයින් ලන්දේසීන් බලාපොරොත්තු වී ඇත්තේ ඉඩම් වලින් උපරිම නිෂ්පාදන ලබාගැනිමත්, ආදායම් පිළිබඳ විස්තර සපයාගැනීමත්, වැසියන්ගෙන් රජයට අයවිය යුතු අනිවාර්ය සේවා නිසි පරිදි ලබාගැනිමත්ය. ඉඩම් වල භුක්තියත් ඒ හා සබැඳි අනෙකුත් පාලනමය ප‍්‍රශ්න විසඳා ගැනීිමටත් දේශීය ප‍්‍රධානීන්ගෙන් සහාය පැතීමට ලන්දේසීන්ට සිදු විය. නමුත් තෝම්බු සැකසීමෙන් ඉඩම් සම්බන්ධ කාර්යයන් පිළිබඳ ලාංකික ප‍්‍රධානින් තුළ ගොඩනැගී පැවති අනියම් බලය ඉවත්කර දැමීම ද මෙහි අරමුණක් වන්නට ඇත. ඒ හැර තේාම්බු සම්පාදනයේ තවත් අභිප‍්‍රායක් වූයේ ලන්දේසීන් යටතේ පැවති ප‍්‍රදේශ වල ජන සංගණනයක් පැවැත්වීම යැයිද කියැ වේ.20 (විජේතුංග 2012, පි.201).

ලන්දේසීන් විසින් මේ ආකාරයෙන් ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කාරක සභාවක් පත්කරන ලදී. ලන්දේසී තෝම්බු, පවුල්,ඉඩම් හා පාසල් යනුවෙන් අංශත‍්‍රයකට අයත් විය.21 (එම). පවුල් තෝම්බුව හරහා සිදුකෙරුනේ යම් ගමක වාසය කරන පවුල් වල විස්තර ලබා ගැනිම ය. ඉඩම් තෝම්බුව මඟින් එකී පවුල්වලට අයත් ඉඩම් වල වගාකරන ලද වැවිලි වර්ග හා ඒවායේ ප‍්‍රමාණ, සමාගමට සැපයිය යුතු ප‍්‍රමාණය ද සේවාවන්ද වාර්තා කරන ලදී. වතු බදු හා පොල් අය බදු පවුලක් විසින් ගෙවිය යුතු ඇඟ බද්දේ ප‍්‍රමාණය ද මීට අයත් විය. ලන්දේසි ආණ්ඩුකාරවරු යටතේ 1745, 1759, 1766 වර්ෂවල දී තෝම්බු සකස් කිරීමේ විවිධ නීතිරීති මඟින් විධිමත් හා දැඩි තත්වයකට මෙම කි‍්‍රයාවලිය පත්කරන ලදී. මේ නිසා ජනතාවට අත්විඳින්නට සිදුවූ පීඩාකාරී තත්වය හේතුවෙන් ජනතා සහාය ඊට ලැබී නැත.

ඉඩම් ලියාපදිංචි කිරීමේ දී මහජනතාවට තම ඉඩම් හිමිකම තහවුරු කිරීමට ඔප්පු, සීට්ටු, සන්නස් ආදී ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වූ හෙයින් බොහෝ ඉඩම් රජයේ ඉඩම් ලෙස ලියාපදිංචි කරන ලදී. වගා නොකළ ඉඩම් ද කැලෑ ඉඩම් ද රජයේ ඉඩම් ලෙස ලියාපදිංචි කරන ලදි. ඒ අතර ඉහත ඉඩම් අනවසරයෙන් වගා කිරීම ද දඩුවම් ලැබිය හැකි වරදක් සේ ප‍්‍රකාශ කරන ලදී. මේ නිසා ඉඩම් වගා කරගෙන ජීවත් විමට ගම් වැසියන්ට තිබූ ඉඩකඩ ඇහිරිණි. ඉඩම් වල නිෂ්පාදන සමාගමට පවරාදීමට සිදුවීම හා බදු සේවා සැපයිමට සිදුවීම ජන අප‍්‍රසාදයට හේතු විය. ලන්දේසීන්ගේ මේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධව 1760 දි ගාල්ලේත්, පසුකල යාපනයේත් කැරළි ඇතිවිය. මෙමඟින් සේවා භුක්ති ක‍්‍රමයට ද එල්ල වූයේ ප‍්‍රබල පහරකි. සමහර අවස්ථාවල දී නිළධාරීන් හට ඉඩම් හිමි වූ විට ඒ ඉඩම්වල වාසය කළ ජනයා හට ඉඩමේ හිමිකරු හා රජය යන දෙපිරිසටම සේවා සැපයීමට සිදු විය. මේ නිසා ඉඩම් භුක්ති ක‍්‍රමය සංකීර්ණ හා වියවුල්කාරී තත්වයට පත්විය. නමුත් මේ ක‍්‍රමය යටතේ රජයට සේවා හා බදු වශයෙන් අයවිය යුතු ආදායම් පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීමට හැකිවූ බව පැහැදිලි ය. නිදසුනක් ලෙස, රාජකාරී සේවය කළයුතු වූ අයගේ ප‍්‍රමාණය 12,000කින් වැඩිවී තිබෙන බවත්, බදු වශයෙන් තමන්ට ලැබිය යුතු මුදල් ප‍්‍රමාණය ගිල්ඩර් 75,000කින් වැඩි වී ඇති බවත් තහවුරු විය22 (අර්සරත්නම් 1969, පි.110).

ලන්දේසීන් තෝම්බු සම්පාදනය කළ පසු රජයෙන් සිදුකළ ඉඩම් ප‍්‍රදාන ක‍්‍රමය අකී‍්‍රය කරමින්, ඉඩමේ පූර්ණ අයිතිය ඉඩම් හිමියාට ලබාදී ඒ වෙනුවට බද්දක් අය කරගැනීමට කටයුතු කළේ ය. මේ හරහා ඉඩමේ පුද්ගලික අයිතිය තහවුරු විය. ඉඩම් භුක්ති ක‍්‍රමයේ මූලික වෙනසක් විය. ඒ අනුව රජයේ අවසරය ඇතිව වගාකළ ඉඩම් වලින් 1/3 බද්දක් (නිපැයුමෙන්) අය කළ අතර අනවසරයෙන් වගාකළ ඉඩම් වලින් 1/2 බද්දක් අය කෙරිණි. වතු බද්ද නමින් නව ඉඩම් බද්දක් පොල්, පුවක් හා කොස් වගා කළ ඉඩම්වලින් අය කරන ලදී. තෝම්බු සැකසීමට පෙර යාපනයෙන් සමාගම ලබාගත් ආදායම පෞද්ගලික හා ඉඩම් බදුවලටත් අනිවාර්ය සේවාවලටත් සිමා වූ නමුත් 1673 දී නව තෝම්බුවක් සම්පාදනය කර මෙම ප‍්‍රදේශයේ ඉඩම් වලින් ලැබිය යුතු ආදායම තීරණය කරගත් ලන්දේසීහු වතු බද්දක්ද, ධාන්‍ය බද්දක්ද, පනවනු ලැබීය. මෙයාකාරයෙන් ජනතාව වෙත බදු බර වැඩි වෙත්ම, ලන්දේසීන් 1690 දී ඇඟ බද්ද ඉල්ලා අස්කරගත් නමුත්, 1699 දී එය නැවතත් පැනවී ය. අලුත් අයබදු ගෙවනවාට වඩා තමන්ගේ ඉඩකඩම් අතහැර දමා වන්නියේ කැලෑ වලට යාමට පවා මිනිසුන් කැමති වූ බව සමකාලීන වාර්තා වල සදහන්ව තිබේ23 (අර්සරත්නම් 1969, පි.101).

4.2 වැටුප් වෙනුවට ඉඩම් පැවරීම

රාජකාරි සදහා ගම්බ්ම් හා ඉඩකඩම් දීම ලංකාවේ දේශීය රජවරු අතර සම්මත පිළිවෙලක්ව පැවති අතර පෘතුගීසීන්ද මේ ක‍්‍රමය පෘථුල ලෙස භාවිත කරන ලදී. පෘතුගීසි නිළධාරීන් සේවයේ යෙදීම වෙනුවෙන් සේවා කාලය තුළ ඇකොමදේසන් නම් ඉඩම් වල හිමිකාරීත්වය දැරී ය. මේ ක‍්‍රමය ලන්දේසීන් විසින්ද අනුගමනය කරන ලද මුත් ඒ ඉතාමත් අඩුවෙනි24 (එම,පි.100). ඊට හේතුව වූයේ ලන්දේසි නිළධාරීන්ට ප‍්‍රමාණවත් වැටුපක් ගෙවීමයි.

ලන්දේසීන් ද වියදම් අඩුකර ගැනිමේ අභිලාශයෙන් සමහර උසස් නිළධාරීන්ට මුදලින් ගෙවිම් කිරීම වෙනුවට සමහර ගම්වල ආදායම ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සළසන ලදී. නිදසුනක් ලෙස කොළඔ දිසාවේට දියයුතු රික්ස් ඩොලර් 200ක ආදායම වෙනුවට මග්ගොන ග‍්‍රාමයෙන් ලද ආදායම පවරා දුනි. එහෙත් ප‍්‍රතිපත්තියක් ලෙස ඉඩකඩම් හා ගම් පවරා දීමට ලන්දේසින් අකමැති වූයේ පුද්ගලයින්ගේ කරුණා විරහිත පාලනයට ගම්බිම් හා ඒවායේ වැසියන් පවරාදීම පිළිබඳ තිබූ භීතියත්, රජයට නිත්‍යානුකූලව ලැබිය යුතු ආදායම නොලැබිමත් යන හේතු නිසාවෙනි. පෙර සිරිතට අනුව ගබඩාගම් පවරා දීමේ දි එය නින්දගමක් බවට පත්විය. ඉඩම භුක්ති විඳින්නා සේවය කළයුතු වූයේ ඉඩම පැවරූ පුද්ගලයන්ටය. නමුත් ලන්දේසින්ගේ ක‍්‍රමය යටතේ පැවරූ පුද්ගලයා හා රජය යන දෙපිරිසටම සේවා සැපයීමට සිදුවීම නිසා ජනතාව පීඩාවන්ට ලක්විය.

4.3. ඉඩම් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිම

ලන්දේසීන් විසින් කි‍්‍රයාවට නැංවූ මෙම ක‍්‍රමයේ දී, වෙන්දේසියක දී විකුණන ලද ගම්වල බදු රැස් කිරීමේ අයිතිය වැඩිම ගණනකට ඉල්ලූ නිළධාරියාට ලැබුණු අතර ඔහුට ඒ ගමේ ආදායම එකතු කර ගැනීමේ අවස්ථාව ලැබුණි. එසේ එක්රැස් කරගත් ආදායමෙන් රජයට ගෙවිය යුතු මුදල ගෙවූ පසු ඊට වැඩියෙන් රැුස් කරගත් මුදල ඔහුගේ ලාභය බවට පත්විය. මේ පිළිවෙත නිසා ඒ ප‍්‍රදේශවාසින් කෙරෙහි නිළධාරින් වෙත තිබූ බලපෑම බෙහෙවින් වැඩිවෙන්නට ඇතැයි විද්වත්හු දක්වති25 (අර්සරත්නම් 1969, පි.110).

ලන්දේසි වාර්තා ඇසුරින් ආචාර්ය එස්. අර්සරත්නම් විග‍්‍රහ කරන පරිදි සමහර නිළධාරීන් තමන්ගේ හබය සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් ද විනිශ්චයකරුවන් ද වශයෙන් දෙයාකාරයටම කටයුතු කරන්නට ඇත. නමුත් 1658 පමණ වනවිට මේ ක‍්‍රීයාවලියට විරුද්ධව ප‍්‍රතිකි‍්‍රයාවක් හටගැනිම නිසාවෙන් දිසාවේවරුන්, ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල මුරපොළවල් භාර නීළධාරීන් හා කුරුදු කාර්යංශයේ කපිතාන් වැනි උසස් නිළධාරින්ට ගම් බදු මුදලට ගැනීම තහනම් කර තිබේ. නමුත් මේ කාර්යය පවත්වාගෙන යාම සඳහා ප‍්‍රමාණවත් තරම් නිලනොලත් පුද්ගලයන් නොසිටි හෙයින් පහත් තත්වයේ ඇතැම් නිළධාරින්ට ඒ අයිතිය භුක්ති විදින්නට ඉඩ හැරීමට සිදුව ඇත26 (එම).

4.4. ඉඩම් ප‍්‍රදානය සදහා නව ක‍්‍රමයක් හදුන්වාදීම

ලන්දේසීන් යටතේ පැවති ඉඩම්, ප‍්‍රදානය කිරීම සඳහා නව ක‍්‍රමයක් ආරම්භ කරන ලදී. එය තුන් හවුල් ඉඩම් වශයෙන් හදුන්වනු ලැබීය27 (සිල්වා 1998, පි.63). මෙලෙස ප‍්‍රදානය කළ ඉඩම් වලින් 1/3 ප‍්‍රමාණය ඕලන්ද සමාගම නියෝජනය සඳහා ගම්මිරිස්, එනසාල්, කෝපි, හා කුරුඳු වගාව වෙනුවෙන් වෙන්කරනු ලැබී ය. මෙම වගාකීරිම් සඳහා කිසිදු ගෙවීමක් සිදුනොකළ අතර ඉඩම් හා අනෙක් 2/3 ඉඩම් හිමියාට කැමති වගාවක් සඳහා යොදාගත හැකි විය. නමුත් මුලාදෑනි බලපෑම් මත මෙම කොටසේ නිෂ්පාදනය ද නිශ්චිත මුදලකට සමාගමට විකිණීමට බල කෙරුණි. මෙම ඉඩම්වල අයිතිය වැඩි වශයෙන් ගම්වල ප‍්‍රධානීන් සතු වූ බැවින් ගම්වල ප‍්‍රබලයන්ගේ තත්වය වර්ධනය වී ඉඩම් හිමි පන්තියක් වශයෙන් ව්‍යාප්ත වන්නට විය. මෙම තත්වය ලංකාවේ ධාන්‍යාගාරයක්ව පැවති නැගෙනහිර පළාත් වල බහුලව දක්නට ලැබූ හෙයින්, නැගෙනහිර පළාත් තරම් වෙන කිසිම ප‍්‍රදේශයක ලන්දේසි ඉඩම් ප‍්‍රතිපත්තිය විනාශකාරී නොවු බව කියැ වේ28 (අර්සරත්නම් 1969,පි.111).

4.5. කුල ක‍්‍රමය හා අනිවාර්ය රාජකාරී සේවා අනිසි ලෙස යොදා ගැනීම

එක් එක් කුලයට යම් යම් රාජකාරීන් පවරා වැඩගැනීමේ පහසුව ලන්දේසීන් විසින් ද තම අරමුණු ඉටුකරගැනීම සදඟා භාවිත කරන ලදී29 (එම, පි.98). මේ ක‍්‍රමය යටතේ ඉඩම් භුක්ති විඳින්නන්ගෙන් ඉඩම් හිමියන්ට කළයුතු වූ සේවාවන් ලබාගැනීමට ලන්දෙසීන් ද කටයුතු කරන ලදී. සාම්ප‍්‍රදායිකව කුරුඳු තැලීම සිදුකළ සලාගම වැසියන් සම්බන්ධයෙන් මේ කි‍්‍රයාදාමය නියමාකාරයෙන් සිදු විය. නමුත් ලන්දේසීන් විසින් කුරුඳු තැලීම හැර ඔවුනට නියම වී තිබුණු, එහෙත් මේ වනවිට අමතකව ගොස් තිබූ සමහර සේවාවන්ද ඔවුන්ගෙන් ලබාගැනිමට කටයුතු කළේ ය. හැකි තරම් අධික කුරුඳු ප‍්‍රමාණයක් ලබාගැනීමට ලන්දේසීන් දැක්වූ උනන්දුවත්, ඒ සඳහා නිර්දය ලෙස සාම්ප‍්‍රදායික රාජකාරි ක‍්‍රමය යොදාගැනීමත් නිසා ජනතාව පීඩාවට ලක්විය. එහි ප‍්‍රතිඵලය වූයේ කුරුඳු තලන ජනයා විශාල පිරිස් වශයෙන් කන්ද උඩරට ප‍්‍රදේශ වලට පැනයාමයි. ඇතැම් විට වෙනත් කුලවලින් ආවාහවිවාහ කර ගැනීමටත් දරුවන් ප‍්‍රභූන්ට විකිණීමෙන් තම පරපුර මෙම පීඩාවෙන් මුදාගැනීමටත් වැසියෝ උත්සුක වූහ.

ලන්දේසීන් යටතේ ඉඩම් ප‍්‍රදාන ලත් ඇතැම් පුද්ගලයන් විසින් ගමේ ජීවත් වූ වැසියන්ගේ භුක්තිය සම්බන්ධව ඔවුනතර තිබූ වෙනස්කම් නොසළකා ගමේ සෑම කෙනෙකුගෙන්ම එක සමාන බද්දක් අය කිරීමටත්, වැසියා ඉටු කිරීමට බැඳී සිටි සේවයෙහි හා ඔවුන්ගේ යුතුකම්වල ඇතිවූ වෙනස්කම්, දේශීය ජන අප‍්‍රසාදය ලන්දේසීන් වෙත එල්ල වීමට හේතුවිය. නිදසුනක් ලෙස හේවාගම් කෝරළේ වැසියන් විසින් මෙයාකාර චෝදනාවක් ලන්දේසීන් වෙත ඉදිරිපත් කර තිබීම දැක්විය හැකි ය. මෙමඟින් ඉඩම් භුක්ති ක‍්‍රමය හා බැඳි සංකීර්ණ තත්වය හෙළිවූ අතර, අනෙක් අතින් සෑම පවුලක්ම ඉඩම් හිමියාට, එකිනෙකින් වෙනස් වූ සම්බන්ධයක් ඇති බවද පළවිය30 (අර්සරත්නම් 1969, පි.109) මෙම තත්වය ලන්දේසීන්ට ප‍්‍රදානය කරන ලද ඉඩම් සම්බන්ධයෙන් පමණක් නොව නාගරිකයන්ට, මිශ‍්‍ර ජාතික භටයන්ට, ලාංකිකයන්ට අයිති ඉඩම් වලද පැවති ඇත31 (එම). ලන්දේසීන් ලාංකේය සමාජ ක‍්‍රමය හා බැඳී පැවති තත්ව ඉඩම් භුක්තිය හා සමඟ නිසි පරිදි ගළපාගැනීමට අසමත් වූ බව විද්‍යමාන වේ.

4.6. ලංකාවේ ඉඩම් පිළිබඳ සංවිධානය ප‍්‍රතිව්‍යුහගත කිරීම

ලන්දේසීන් විසින් මෙරට දී පළමුව අත්පත් කරගත් ඉඩම් බොහොමයක් යුධ තත්ව හා ගැටුම් නිසාවෙන් විනාශව ගොස් පැවතිණි. ලන්දේසීන් හා යුධ ගැටුම් වෙත අවතීර්ණව සිටි උඩරට රජුගේ අභිප‍්‍රාය වූයේ ද පහතරට පෙදෙසේ ජනශූන්‍ය කරමින් ආර්ථිකමය වශයෙන් ඵල රහිත තත්වයකට පත්කිරිමයි. මේ නිසා මීගමුවේ සිට ගාල්ල දක්වා වූ වෙරළබඩ තීරුවක්ම බොහෝ දුරට ජනශූන්‍යව පැවති හෝ ඉතා මද වශයෙන් ජනාවාසික විය32 (එම, පි.104). මේ හේතුවෙන් එතෙක් නොයෙක් තත්ව හමුවේ කි‍්‍රයාත්මක වූ ඉඩම් පිළිබඳ සංවිධානය බිඳවැටීමකට ලක්ව තිබේ. මේ ඉඩම් යළි ප‍්‍රතිසංවිධානය කරමින් කෘෂිකර්මාන්තය නගා සිටුවිමට ලන්දේසීන් උනන්දු වුවත් ඊට අවශ්‍ය ශ‍්‍රමය සපයා ගැනීම අපහසු විය. මෙලෙස කටයුතු කිරීමෙන් ලංකාවේ ලන්දේසි බලය තහවුරු කර ගැනීිමට මෙන්ම රට ස්වයංපෝෂිත කර ගැනිමට ද ඉඩ සැළසිනි.

මේ අරමුණ යටතේ ලන්දේසීන් තංජෝරයෙන් වහල් ශ‍්‍රමිකයන් ගෙන්වා ගනිමින්ද කොළඔ හා ඊට යාබද ප‍්‍රදේශ වල කුඔුරු හා ගාල්ල ප‍්‍රදේශයේ කුඔුරු ජලගැලීම්වලින් ආරක්ෂා කරගැනීිමට අවශ්‍ය පියවර ගන්නා ලදී. මේ අනුව 1765 දී මුතුරාජවෙල හා පසුව ගිරුවාපත්තුවේ දහස් ගණන් ඉඩම් අස්වැද්දිමට කටයුතු කළමුත් ලන්දේසීන්ගේ අසංවිධිත කි‍්‍රයා නිසා මේ කටයුතු අතරමග ඇනහිටිණි. නමුත් මෙම ඉඩම් වගා කිරිමෙන් තමාගේ සේවක පරිභෝජනයට අවශ්‍ය සහල් ප‍්‍රමාණය ලන්දේසීන් සපයා ගන්නා ලදී.

ඒ අතරම රජයට අයත් ඉඩම් වගා කිරීමට එකඟ වූ අය අතර නොමසුරුව බෙදාදීමට කටයුතු කරන ලදී. ඉඩම් බෙදා දෙන විට ඒවා නිසිපරිදි ප‍්‍රයෝජනයට ගැනීිමට ප‍්‍රමාණවත් කොන්දේසි ඇතුලත් කරන ලදී. ඒ අනුව, වී පාරාවකට අඩු වශයෙන් ස්ටයිවර් 19ක සහතික මිලක් ගොවියාට ගෙවන ලද අතර, ගොවීන් නිෂ්පාදනය කළ වී සියල්ල ලන්දේසීන් විසින් මිළට ගැනීමට එකඟ විය33 (එම, පි.105). එහෙත් මෙම කටයුතුවල දී වාරිමාර්ග වල නඩත්තු වියදමට අමතරව අස්වැන්නෙන් දහයෙන් පංගුවක් බදු වශයෙනුත් ඉතිරියෙන් තව දහයෙන් පංගුවක් වාරිමාර්ග සංවර්ධනයට ගිය වියදම් පියවාගැනීම සඳහා රජයට ගෙවීමට සිදුවීම නිසා මුතුරාජවෙල අස්වැද්දීම අතරමග නවතා දැමූ බව කිය වේ.

ලන්දේසීන් විසින් ගබඩාවලින් රට ඇතුළේ නතර කර සිටි ලස්කිරිඤ්ඤා හමුදා භටයින්ට එතෙක් ලබාදුන් ආහාර සලාකය කප්පාදු කොට, ඒ වෙනුවට භටයින් රැඳීසිටි පෙදෙස ආසන්නයේ පැවති ඉඩම් වගාකිරිමට නොමසුරුව ඉඩම් ලබාදෙන ලදී. මෙම තත්වය නිසා ලස්කිරිඤ්ඤා භටයින් නොයෙකුත් පීඩනයන්ට ගොඳුරු විය. ගිරිවාපත්තුවේ ඉඩම් දහස් ගණන් අස්වැද්දීමේ ලා යොදාගත් ගොවීන් ද මෙයාකාරයෙන් ම පීඩාවන්ට ගොදුරු වූ බව සඳහන් වේ. එස්. අර්සරත්නම් මේ තත්වය ලංකාවේ ස්වදේශික රජවරුන්ගේ කි‍්‍රයාමාර්ගයට ආපසු යෑමක් වන නමුත්, එවකට තත්වය වෙනස් වී තිබූ බැවින් මෙය ඔවුනට කරදරයක් වූ බව දැක්වී ය34 (එම).

5. සමාලෝචන 

ඉහත තොරතුරු විමර්ශනය කිරීමේදි පැහැදිලි වන්නේ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවේ පැවති සාම්ප‍්‍රදායික ඉඩම් භුක්ති ක‍්‍රමයේ ඇතැම් අංග ලක්ෂණ සිය දේශපාලන හා ආර්ථික ප‍්‍රතිපත්තීන් සාධාරණීකරණය කිරීමෙහිලා භාවිතාවට ගත් බවයි. එමෙන්ම, මෙම දෙපිරිස විසින්ම තෝම්බු සකස්කිරීම පිළිබඳව වඩාත් අවධානය යොමුකිරීම නිසා එතෙක් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් මත පදනම්ව තිබූ ඉඩම් භුක්තිය පිළිබඳ තත්වයන් නෛතික පදනමක් මත සංවිධානගත වීමට අවශ්‍ය පදනම සැකසුණි. එතෙක් රජුගේ පූර්ණ බලපෑම මත ඉඩම් භුක්තිය පිළිබඳ තත්වයන් ගොඩනැගී පැවති අතර පෘතුගීසින් හා ලන්දේසීන් යටතේ අනිවාර්ය රාජකාරී සේවාව හා ඉඩම් භුක්තිය අතර තිබූ සම්බන්ධය නැතිව ගොස් ඉඩම් වල පුද්ගලික අයිතිය පිළිබඳ තත්වයන් හා ඒ හා සබැඳි කොන්දේසි පද්ධතියක් බිහිවිය. මෙනිසා එතෙක් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් මඟින් ඉඩම් භුක්තිය සමඟ සම්බන්ධවී සිටි ජනයා ඉන් බැහැර සංකීර්ණ හා අර්බුධකාරී තත්වයක් වෙත අනුගත කරවීමෙහිලා දරන පීඩාකාරි ප‍්‍රයත්නයක් පෘතුගීසීනිගේ හා ලන්දේසීන්ගේ ඉඩම් හා සබැඳි ප‍්‍රතිපත්තීන් මඟින් විද්‍යමාන වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • අබයසිංහ, ටිකිරි බණ්ඩා (2005), පරංගි කෝට්ටේ, ස්ටෑම්ෆර්ඞ් ලේක් ප‍්‍රකාශන, පන්නිපිටිය.
  • අබයසිංහ, ටිකිරි (1969), පෘතුගීසින් හා ලංකාව, ස්ටෑම්ෆර්ඞ් ලේක් ප‍්‍රකාශන, පන්නිපිටිය.
  • අර්සරත්නම්. එස්. (1969), ලංකාවේ ලන්දේසි බලය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ‌‌කොළඹ.
  • ආරියපාල, ඇම්.බී. (1962), මධ්‍ය කාලීන ලංකා සමාජය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ප‍්‍රකාශන අංශය, ‌‌කොළඹ.
  • පීරිස්, රැල්ෆ් සහ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර (1967), ඉඩම් භුක්ති ක‍්‍රම, සිංහල විශ්ව කෝෂය, සංස්. ඩි. ඊ. හෙට්ටිආරච්චි, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ‌‌කොළඹ.
  • ගුණවර්ධන, ඩිලාන් (2006), පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය, අභිනන්දිකා, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • මහාවංසෝ (2006), සංස්. මංගල ඉලංගසිංහ, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • විජේතුංග, ඩබ්ලිව්.එම්.කේ. (2012), ශ‍්‍රී ලාංකේය ඉතිහාසය, වෙළුම III, ඇම්.ඞී. ගුණසේ සහ පුද්ගලික සමාගම, කොළඹ.
  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (1997), රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.

———————————————————————————————————————

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.06.24 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

———————————————————————————————————————

මාගම රාජ්‍යය හා රජවරුන් – පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි විසින් 2017 ජුනි මස 11 දින ශ්‍රි ලංකා  රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ දී පැවැත් වු ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමයේ  මාසික දේශනය.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි පිළිබඳ තොරතුරු සඳහා පහත ලිපිනයට පිවිසෙන්න.

Ven. Ellawala Medhananda Thero

ශ‍්‍රී ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එසේ වාර්තා කිරීම සඳහා යෝජිත ආකෘතියක්

අනුරාධ පියදාස, චන්දිම බණ්ඩාර අඹන්වල, මහින්ද කරුණාරත්න

archaeology.lk සම ප‍්‍රාරම්භක හා කණ්ඩායම් සාමාජික

අනුරාධ පියදාස, චන්දිම අඹන්වල හා මහින්ද කරුණාරත්න

අධ්‍යයන සංක්‍ෂිප්තය

අදින් වසර 125,000ක් දක්වා ඈතට ගමන් කරන යටගියාවකට උරුමකම් කියන ශ‍්‍රී ලාංකේය මානවයාගේ ගමන් මාර්ගෙය් සළකුණු පෙන්නුම් කරන සංස්කෘතික උරුමස්ථාන රැසක් දිවයින පුරා පැතිර තිබේ. වසර ලක්‍ෂ ගණනාවක් ඈතට ගමන් ගන්නා සාධක නිරූපණය කරන ප‍්‍රාග් ඓතිහාසික පුරාස්ථානයන්ගේ පටන් අදින් වසර සියයකට වඩා පැරැණි කුඩා ප‍්‍රමාණයේ ආභරණය දක්වා පරාසයක මෙම උරුමස්ථාන හා උරුමය පැතිර ඇත. එමෙන් ම ප‍්‍රාග් ඓතිහාසික ගල්පතුරු ලැබෙන ක්‍ෂේත‍්‍රයේ සිට වාස්තුවිද්‍යාව, චිත‍්‍ර, අභිලේඛන ආදී විවිධ තත්ත්වයන් මෙම ක්‍ෂේත‍්‍රවලින් නිරූපණය වන බවත් පෙනී යයි. දසදහස් ගණනින් මැනිය හැකි ශ‍්‍රී ලාංකේය උරුමස්ථාන වාර්තාකරණය සඳහා විවිධ පුද්ගලයන් හා ආයතන විවිධාකාර උත්සාහයන් ගෙන ඇති බව පෙනී යයි. ජාතික ප‍්‍රතිපත්තියක් තුළින් සකස් විය යුතු තත් කාර්යය සැපිරීම සඳහා නෛතික බලය ලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද යම් උත්සාහයක් ගනු ලබන බව පෙනේ. එහෙත් මෙවැනි කාර්යයන් අතර යහපත් අන්තර් සබඳතාවක් නොතිබීම හා එමඟින් ඉදිරිපත් කෙරෙන දත්තයන්ගේ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් පවත්වා ඌනතාවන් හේතුවෙන් ජාතික හෝ ජාත්‍යන්තර ප‍්‍රමිතියක් අත්කර ගැනීමට මෙම දත්ත පද්ධති සමත් වී ඇති බවක් පෙනී නොයයි. තෙවන හෝ සිව්වන පාර්ශවයකට මෙම කාර්යයන් සඳහා සම්බන්ධ වීමට අවස්ථාවක් නොතිබීම හා ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුතාවත් මෙම දත්ත පදනම් සම්බන්ධයෙන් දැකිය හැකි පොදු දුර්වලතාවකි. එමෙන් ම එම සියලුම ශ‍්‍රමායික හා අංකිත දත්ත හා තොරතුරු වාර්තාකරණය සඳහා වර්තමානයේ විශ්වීය වශයෙන් ඉතා වර්ධිත තත්ත්වයට පත් ව ඇති අංකිත තාක්‍ෂණය, අවම පිරිවැයක් යටත් ලබා ගත හැකි මට්ටමට හෝ භාවිත නොකරන බව ද පෙනී යයි. මෙම පත‍්‍රිකාව මඟින් දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකරණය හා විශ්ලේශනය සඳහා අවම පිරිවැයක් යටතේ අංකිත තාක්‍ෂණය උපයෝගි කොට ගත හැක්කේ කෙසේද යන්න පෙන්වා දීම හා ඒ සඳහා ආකෘතියක් හඳුන්වා දීම අරමුණු කරනු ලබයි. විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක වන යෝජිත දත්ත පද්ධතිය ‘පාලන ඒකකය’, ‘දත්ත යෙදවුම් ඒකකය’ හා ‘පරිශීලන ඒකකය’ යන අංශ ත‍්‍රිත්වයකින් සමන්විත වේ. පාලන ඒකකයේ අභිමතය පරිදි ඕනෑම අයෙකුට දත්ත ග‍්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් හා පාලන ඒකකයේ සීමාකම් සහිත ව බලය ලත් පුද්ගලයනට හෝ ආයතනවලට දත්ත පද්ධතිය සඳහා දත්ත ඇතුළු කිරීමේ, යාවත්කාලීන කිරීමේ ගුණාංග සහිත ව මෙම ආදර්ශය ඉදිරිපත් කරනු ලැබේ. මෙම පද්ධතිය සඳහා මූලික වශයෙන් ස්පර්ශනීය උරුමස්ථාන වාර්තාගත කිරීම සඳහා ‘අනන්‍ය අංකනය කිරීමේ ක‍්‍රමවේදයක්’ හඳුන්වා දෙනු ලබන අතර එම අංකය මඟින් අදාළ උරුමස්ථානයේ ස්ථාන ගත වීම, ස්වභාවය ආදි කරුණු රැසක් පිළිබඳ වැටැහීමක් ලබා ගත හැකි වනු ඇත.

මූල පද : සංස්කෘතික උරුමස්ථාන, අංකිත තාක්‍ෂණය, පාලන ඒකකය, දත්ත යෙදවුම් ඒකකය, පරිශීලන ඒකකය, අනන්‍ය අංකනය

හැඳින්වීම

භු භෞතික වශයෙන් වර්ග කිලෝමීටර් 65,335ක් පමණ එනම්, සාපේක්‍ෂකව කුඩා ප‍්‍රමාණයක් ගන්නා ශ‍්‍රී ලංකාව ස්වභාවික හා මානව විද්‍යාත්මක වශයෙන් දිගු යටගියාවකට උරුමකම් කියන බව පර්යේෂකයන් විසින් පෙන්නුම් කොට දී ඇත. දිවයිනේ මානව යටගියාව අදින් වසර 125,000ක් පමණ ඈතට ගමන් ගන්නා බව ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල ඉරණමඩු පාංශු සංකීර්ණය ආශ‍්‍රිත ව සිදු කරන ලද පර්යේෂණ අනුව තහවුරු කොට ඇත (Deraniyagala 1992:118). මානව යටගියාව නිරූපණය කරන සංස්කෘතික උරුමය විද්වතුන් විසින් ස්පර්ශනීය හා අස්පර්ශනීය යනුවෙන් වර්ග කොට හඳුනා ගන්නා අතර මෙම කාර්යයේ දී ‘ස්පර්ශනීය සංස්කෘතික උරුමය’ කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ලැබේ.

ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයන්ගේ ස්වභාවය

මානවයාගේ පරිණාමය නොහොත් කාලය ඔස්සේ අවකාශයේ සිදු කරන ගමනේ දී ඔහුගේ චින්තනය, සිතුම්පැතුම්, වීරත්වය, ප‍්‍රබලත්වය, සංවේදී බව ප‍්‍රකාශ කරන භෞතිකව ස්පර්ශ කළ හැකි අවශේෂ, ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථාන වශයෙන් හඳුනා ගන්නා අතර මානව යටගියාව සමඟ ඇති අවියෝජනීය බැදීම මෙම සංස්කෘතික උරුමස්ථාන තුළින් නිරූපණය වෙයි. ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ තාක්‍ෂණය නිරූපණය කරන ගල් ආයුධ ලැබෙන පුරාස්ථානයක සිට ප්‍රොටෝ සංස්කෘතික අභිචාරී ක‍්‍රම නිරූපනය කරන සුසාන, ජනාවාස ගොඩැලි, ඓතිහාසික යුගයේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ඔස්සේ අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම නිරූපනය කරන බලකොටු, නිවාස, සුසාන සංකීර්ණ, දේවස්ථාන දක්වා පුළුල් පරාසයක මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය විසීරී පවතී. කාල වශයෙන් ගෙන බැලීමේ දී අදින් වසර ලක්‍ෂය ඉක්මවා යන කාලයක සිට අදින් වසර 100කට එපිට කාලය දක්වා දීර්ග කාල පරාසයක් නියෝජනය කරන බව ද පෙනී යයි. ඉතා කුඩා පුරාවස්තුවේ සිට අක්කර සිය ගණනක ව්‍යාප්තියක් පෙන්නුම් කරන ක්‍ෂේත‍්‍ර දක්වා ප‍්‍රමාණාත්මක අවකාශ ව්‍යාප්තියක් ද මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය නිරූපනය කරයි.

මේ අනුව සලකා බැලීමේ දී ස්වභාව, නිර්මාණ තාක්‍ෂණය, උපයෝගිතාව, කර්තෘත්වය ආදී විවිධ කරුණු සම්බන්දයෙන් අතිශ්‍ය සංකීර්ණ බවක් මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය අයත් කර ගන්නා බව මැනවින් පැහැදිළි වෙයි.

සංස්කෘතික උරුමස්ථාන වාර්තාකරණයේ වැදැගත්කම

ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයකට නිතැතින්ම හිමි වන්නා වූ, එයටම ආවේනික වූ වැදැගත් කමක් හිමි වීම ස්වභාවික ය. වත්මන් ව්‍යවහාර තත්ත්වය අනුව ඊට වටිනාකමක් ආරෝපණය වන්නේ එම සංස්කෘතික උරුමය වාර්තා කිරීම හා වාර්තාකොට තිබෙන ආකාරය අනුව බව නිශ්චය කළ හැකි වේ. යම් උරුමස්ථායනක් සම්බන්ධයෙන් නිසි ලෙස දත්ත වාර්තාකරණය මඟින් පහත පෙළ ගස්වන ආකාරයේ වාසි සහගත තත්ත්්වයක් උදා වන බව පෙනේ.

  • සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයක පවත්නා ශක්‍යතාව නිසි ලෙස තක්සේරු කළ හැකි වීම
  • සංස්කෘතික උරුමය කෙරෙහි සිදු වන ස්වභාවික හා ද්වේෂසහගත හානිය තක්සේරු කිරීමට හැකි වීම
  • යටගියාව අධ්‍යයනයේ දී එනම් ඉතිහාස රචනයේ දී සජීවි මුලාශ‍්‍රයක් වශයෙන් ආබද්ධ කර ගත හැකි වීම
  • පුරාමානවයාගේ චින්තනය හා පරිසරාත්මක සබැදියාව නිරුපණය කරන, පෙන්නුම් කරන සලකුණක් වශයෙන් අගය කළ හැකි වීම
  • මානව වර්ගයාගේ පොදු උරුමයක් වශයෙන් සමාජගත කළ හැකි වීම
  • සංරක්‍ෂණ, සංචාරක ආදී උරුම කළමනාකරණ ක‍්‍රියාදාමයන්හි දී මඟ පෙන්වන්නෙක් ලෙස යොදාගත හැකි වීම
  • ආර්ථික වශයෙන් ගාමක බලවේගයක් වශයෙන් උපයෝගි කරගත හැකි වීම
  • අධ්‍යයන, පර්යේෂණ කාර්යයන් සඳහා අනුබලයක් වීම

මේ ආකාරයට සංස්කෘතික උරුමය වාර්තා කිරීම බොහෝ අතින් ධනාත්මක ප‍්‍රතිඵල අත්කොට දෙන බැවින් නිසි ලෙස ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථාන වාර්තා කිරීම වැදගත් වනු ඇත.

ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ උත්සාහයන්

දීර්ඝ ලිඛිත ඉතිහාසයක් සහිත දිවයිනේ පැරණිම ලේඛන තුළින් ද සංස්කෘතික උරුමය පිළිබඳ වාර්තාකරණයට යම් උත්සාහයක් ගෙන ඇති බව කරුණු පරික්‍ෂා කිරීමේදී පෙනී යයි. ශිෂ්ටාචාරය ආරම්භ වූ මුල් කාලයේ දී ද්‍රව්‍යාත්මක සංසිද්ධීන් උරුමය ලෙස හෝ උරුමය වාර්තාකරණය ලෙස සංකල්පගත කොට හඳුනා නොගත්ත ද සිදු කර ඇති සමහර ක‍්‍රියාවන් උරුමය වාර්තා කිරීමට ගත් උත්සාහයක් ලෙස අර්ථකථනය කිරීමේ හැකියාව පවතී. උදාහරණයක් වශයෙන් දිවයිනේ පැරණිම ලේඛන වශයෙන් විද්වතුන් විසින් පොදුවේ පිළිගන්නා පූර්ව බ‍්‍රාහ්මී අභිලේඛන මඟින් යම් භෞතික දේපලක අයිතිය, පරිත්‍යාගය ආදිය පිළිබඳ තොරතුරු අනාවරණය වන අතර වර්තමානය තෙක් ම සිදුවන සෙල්ලිපි මඟින් මෙම සාධකය සැපිරෙන බව පෙනී යයි. එමෙන් ම ක‍්‍රිස්තු වර්ශ 5වන සියවසේ පමණ සිට අද දක්වාම අඛණ්ඩ ව ලියැවෙන සිංහලයේ වංසකතාව වන මහාවංශය, දීපවංසය ආදී ග‍්‍රන්ථ මඟින් ද සංස්කෘතික උරුමස්ථාන නිර්මාණය සඳහා භූමිය තෝරා ගැනීම, ඒවා නිර්මාණය හා නිර්මාපකයන්, අමුද්‍රව්‍යය යොදාගත් ආකාරය, ද්වේශ සහගත විනාශ කිරීම්, නැවැත තහවුරු කිරීම ආදිය පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන වාර්තා උරුමය වාර්තා කිරීමට ගත් උත්සාහයක් ලෙස සැලැකුව ද එය වරදක් නොවේ.

කිතු වසින් 1880දී පමණ අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ පුරාවිද්‍යා සමීක්‍ෂණය (Archaeological Survey of Ceylon) ආරම්භ කිරීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවක් (Department of Archaeology) වීම දක්වා පුරාවිද්‍යා කොමසාරිස්ගේ (අධ්‍යක්‍ෂ ජනරාල්) වාර්ෂික පාලන වාර්තා (Archaeological Survey Commissioner Annual Report) ඇතුළු ප‍්‍රකාශන රැසක් මඟින් ස්පර්ශනීය සංස්කෘතික උරුමය හා ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ කාර්යය සිදු වුණු බව පෙනී යයි. දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙනත් ආයතන වන මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා හා ඉතිහාස අධ්‍යන අංශ මඟින් ද සංස්කෘතික උරුමය වාර්තා කිරීම සම්බන්ධයෙන් යම් වැඩ කොටසක් සිදු වන බව පෙනේ. ඊට අමතර ව වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයන් විසින් ද මේ සම්බන්ධව විවිධ කටයුතු කරන බව පෙනේ.

වර්ධනය වූ ‘ක්‍ෂේත‍්‍ර හා ස්මාරක වාර්තාකරණ (Sites and Monument Records – SMR)’ සංකල්ප යටතේ මෙවැනි ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් වාර්තා වීම ජාතික වැඩපිළිවෙලක් වශයෙන් සිදුවන බවක් පෙනී යන්නේ නැත. (ජාතික වැඩපිළිවෙලක් සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම, මහජන සහභාගීත්වය, පොදු උපයෝගීතාවක් තිබීම හා ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීම වැනි කාරණා සම්පූර්ණ විය යුතු ය.) එහෙත් සම්පත් අවම තත්ත්වයක් තුළ හෝ මෙම තත්ත්වය අවබෝධ කොට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍ෂේත‍්‍ර හා ස්මාරක වාර්තාකරණය පිළිබඳ මූලික වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර වෙනත් ආයතන කීපයක් විසින් ම මෙවැනි කාර්යයන් අරඹා ඇති බව පෙනේ.

ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ උත්සාහයන් වල පවත්නා දුර්වලතාවන්

දිවයිනේ සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් සිදු කරන වාර්තාකරණයන් පිළිබඳ ව අවලෝකනය කිරීමේ දී ඒවායේ සිද්ධාන්තමය හා ප‍්‍රායෝගික වශයෙන් දුර්වලතාවන් බවතින බව හඳුනාගත හැකි වේ. මෙවැනි ක‍්‍රියාදාමයන් සූක්‍ෂම ලෙස අධ්‍යයනය කිරීමෙන් තොරව වුවත් එවායේ ආවේනික හා ආවේනික නොවන දුර්වලතා පිළිබඳ ව අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. එවැනි දුර්වලතා වශයෙන් පැහැදිළි ව පෙනී යන කාරණා කීපයක් පහත ඉදිරිපත් කරනු ලැබේ.

ආවේනික ගැටලු

යම් පද්ධතියක පවත්නා ස්වභාවය හා ව්‍යුහය අනුව මඟහරවා ගැනිමට අපහසු අනිවාර්ය බාධක වශයෙන් ඉස්මතු වන තත්ත්වයන් ආවේනික ගැටලු හෙවත් බාධකයන් වශයෙන් හඳුනා ගත හැකි වෙයි.

  • භූ භෞතික වශයෙන් දිවයින කුඩා වුවත් සංස්කෘතික උරුමය, එහි ව්‍යාප්තිය, ස්වභාවය යන අංශ අතින් අතිශය බහුල හා සංකීර්ණ වීම
  • සංස්කෘතික උරුම ක්‍ෂෙත‍්‍රයක් අයත් වන්නේ කුමන වර්ගයකට ද යන්න නිර්ණය කිරීම අපහසු වීම
    උදා. අනුරාධපුර වෙස්සගිරිය ක්‍ෂේත‍්‍රය

ප‍්‍රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික, මූල ඓතිහාසික, වාස්තු විද්‍යාත්මක, පූර්ව බ‍්‍රාහ්මී, අපර බ‍්‍රාහ්මී, පසු කාලීන ලිපි, චිත‍්‍ර ආදී බොහෝ සංස්කෘතික අවශේෂ හමුවන බැවින් මෙවැනි ක්‍ෂේත‍්‍රයක් අයත් කරන්නේ කුමන කාලයකට ද කුමන වර්ගයකට ද යන්න ගැටලු සහගත විය හැකි වේ.

  • සංස්කෘතික උරුමය වාර්තාකරණය කෙරෙහි සාමාන්‍ය ජනයා කෙරෙන් දිස්වන මන්දෝත්සාහී බව
  • විද්වතුන් අතර පවත්නා ගුරුකුල ගැටුම් හා අනෙකුත් අගතීන්

ආවේනික නොවන දුර්වලතා

පද්ධතියේ පවත්නා ලක්‍ෂණවලට බාහිර වශයෙන් පැන නඟින්නා වූ ගැටලූ මේ යටතේ හඳුනාගත හැකි අතර උත්සාහය, කැපවීම, බුද්ධිමය මඟපෙන්වීම හා කණ්ඩායම් ක‍්‍රියාකාරීත්වය තුළින් මෙවැනි ගැටලු හෙවත් දුර්වලතාවන් අවම කර ගැනීම අපහසු නොවේ.

  • ස්පර්ශනීය සංස්කෘතික උරුමය වර්ගකිරීමේ නිසි පදනමක් නොමැති වීම
  • පුරාවිද්‍යාත්මක ක්‍ෂේත‍්‍රයක් හඳුනා ගැනීමේ පදනම අපහැදිළි වීම

වාස්තු විද්‍යාත්මක අවශේෂ ආදිය බහුල ව පවත්නා ක්‍ෂේත‍්‍ර සංස්කෘතික උරුමය ලෙස පහසුවෙන් හඳුනාගත හැකි වුවත් වළංකටු ආදිය හමු වන ක්‍ෂේත‍්‍රයක් යම් යම් පුද්ගලයන් විසින් උරුමස්ථානයක් ලෙස හඳුනා ගැනීමට උත්සාහ ගනු ලැබේද යන්න. වලංකටු ලැබෙන ක්‍ෂේත‍්‍රයක් වුව ද සංස්කෘතික උරුමස්ථානයක් ලෙස හඳුනා ගැනීමට වළංකටු කොපමණ ප‍්‍රමාණයක් ලැබිය යුතු ද යන්න සම්බන්ධයෙන් නිශ්චික එකඟතාවක් නොතිබීම.

  • මහජන දැනුවත් කිරීම හා මහජනයාට මැදිහත්වීමට ඉඩකඩ නොසැලසීම
  • විවිධ ආයතන හා එකම ආයතනයේ විවිධ පුද්ගලයන් විසින් සිදු කරන වාර්තා කිරීම් පුද්ගලානුබද්ධ කාර්යයක් පමණක් වීම

මෙවැනි කාර්යයක් සඳහා සම්පත්ඝණ පුද්ගලයන්ගෙන් හෝ ලබාගත යුතු සහයෝගය ලබා නොගෙන පෞද්ගලික කාර්යයක් සේ ක‍්‍රියාවට නැංවීම

  • බුද්ධිමය, තාක්‍ෂණික වර්ධනය හෝ අනාගත අවශ්‍යතා අනුව සිදුවිය යුතු ප‍්‍රසාරණයන් සඳහා අවැසි ඉඩකඩ නොමැති වීම
  • උරුමය අනන්‍යගත කිරීමේදී එහි පැහැදිළි, ක‍්‍රමවත් ක‍්‍රමවේදයක් නොමැති වීම

අනන්‍යගත කිරීම නාමකරණය හෝ අංකණය මඟින් සිදු කරන අතර මෙම පද්ධති ප‍්‍රසාරණය කිරීමට යෑමේ දී එම අංකනය කිරීම් හෝ නාමගත කීරීම්හි ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වේ.

  • විටෙක පිරිවැය අධික ක‍්‍රමවේද භාවිත කිරීම

දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකරණය සම්බන්ධයෙන් මෙවැනි විවිධ දුර්වලතා හඳුනාගත හැකි වන අතර එමඟින් පහත සාකච්ඡා කෙරෙන තත්ත්වයන් ජනනය වනු ඇත. මෙම පද්ධතීන් අතර සහසම්බන්ධතාවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස එකම ක්‍ෂේත‍්‍රය නැවැත නැවැත වාර්තාකරණය සිදු වීමට ඉඩ ඇත. එමෙන් ම පරිපුර්ණ වාර්තාකරණයක් නොවන බැවින් ඉදිරි ජාතිකමය අවශ්‍යතාවන් සඳහා උක්ත දත්ත පද්ධති ප‍්‍රමාණවත් නොවීම නිසා අනවශය පිරිවැයක් දරමින් නැවැත වාර්තාකරණ කටයුතු සිදු කිරීමට සිදු වනු ඇත. එමෙන් ම මහජනයා සඳහා හෝ ප‍්‍රතිපත්ති සම්පාදකයන් සඳහා තත් පද්ධති නිර්මාණය නොවීම නිසා මෙම දත්ත පද්ධති උපයෝගිතාවෙන් හීන කාර්යයක් පමණක් වනු ඇත.

ගෝලීය වශයෙන් ස්පර්ශණීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ තත්ත්වය

ගෝලීය වශයෙන් විවිධ සංස්කෘති හා ශිෂ්ටාචාර නියෝජනය කරමින් පවත්නා සංස්කෘතික උරුමය වාර්තා කිරීම සඳහා විවිධ මට්ටමේ උත්සාහයන් ගෙන ඇති බව පෙනී යයි. එවැනි සාර්ථක පද්ධතීන්හි ස්වභාවය නිරීක්‍ෂණය කිරීමේ දී හඳුනාගත හැකි ධනාත්මක ලක්‍ෂණ කිපයකි.

  • ඒකමිතික වාර්තාකරණය
    සෑම සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයක් ම සම්මත එකම ආකෘතියකට අනුව වාර්තා කිරීම
  • බහුවිධ වාර්තාකරණය
    ස්පර්ශනීය සංස්කෘතික උරුමය සැලසුම්, ඡායාරූප, ආකෘති ආදී විවිධ ක‍්‍රමවේද ඔස්සේ වාර්තා කිරීම
  • විවෘතමූල පරිගණක මෘදුකාංග (Open Source) හා බෙහෙවින් අඩු පිරිවැයක් සහිත පරිගණක මෘදුකාංග භාවිතය
  • ඵලදායි ලෙස මහජන සහභාගීත්වය සඳහා ඉඩ සැලැසීම
  • මධ්‍යගත පාලනය හා දත්ත දානය (Data Input) හා දත්ත/තොරතුරු ආදානය (Data/Information receiving) විමධ්‍යගත වීම
  • ආර්ථික වශයෙන් ඵලදායි කාර්යයක් වශයෙන් නිර්මාණය වීම

මෙම කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් බොහෝ ගැටලු හා දුර්වලතා මඟහරවා ගනිමින් අප රටේ ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතාවන් හා වුවමනාවන් කෙරෙහි යථායෝග්‍ය වන පරිදි පහත ආකෘතිය ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම සඳහා අප විසින් යෝජනා කරනු ලැබේ.

යෝජිත ආකෘතියේ ස්වභාවය

උක්ත සාකච්ඡා කරන ලද කරුණු හා ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව වටහා ගනිමින් මෙහි ඉදිරිපත් කරන ආකෘතිය අප විසින් යෝජනා කරනු ලැබේ. ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම හා පාලනය මධ්‍යගත ඒකකයක් මඟින් හා දත්ත ආදානය හා ප‍්‍රතිදානය විමධ්‍යගත කරමින් අවම පිරිවැයක් යටතේ මහජන සහභාගිත්වය උපරීම වන අයුරින් මෙම පද්ධතිය යෝජනා කෙරේ. ඒමෙන් ම වර්තමානයේ ජනප‍්‍රිය හා භාවිතය උපරීම වී ඇති විශ්ව ව්‍යාප්ත ජාලය (World Wide Web) ඔස්සේ වෙබ් අඩවියක් මඟින් මෙම පද්ධතිය ක‍්‍රියාත්මක වනු ඇත. එමඟින් මෙම පද්ධතිය

  • දවසේ පැය 24 පුරාම සේවාව සපයන
  • භෞතික සීමා මායිම් නොමැති
  • විශාල පුද්ගලයන් ප‍්‍රමාණයකට එක වර භාවිත කළ හැකි
  • භාවිත කරන්නන්ට ඉතා පහසු පද්ධතියක් බවට මෙම පද්ධතිය පත් කළ හැක.

යෝජිත මෙම ආකෘතිය ප‍්‍රධාන ඒකක නොහොත් කොටස් හතරකින් සමන්විත වෙයි.

  1. පාලන හා කළමනාකරණ ඒකකය (Administration and Management Module)
  2. දත්ත යෙදීමේ ඒකකය (Data Entry Module)
  3. පොදු පරිශීලන ඒකකය (Public Interface Module)
  4. දත්ත නිවැරදිතාව රැකිමේ ඒකකය (Moderation Module)
1 වන රුපය: යෝජීත පද්ධතියේ එ්කක

1. පාලන හා කළමනාකරණ ඒකකය (Administration and Management Module)

යෝජිත ආකෘතිය නිර්මාණය, සැලසුම්කරණය, ක්‍ෂේත‍්‍ර වර්ගීකරණය මෙහෙයවීම ඇතුළු සියලුම පාලන හා කළමනාකරණ කෘත්‍යයන් මෙම ඒකකය මඟින් සිදු කෙරේ. මෙම ඒකකය මඟින් අපේක්‍ෂිත කාර්යාවලිය ඉටු කිරීම මණ්ඩල දෙකක් යටතේ සිදු කරනු ඇත.

අ. විද්වත් මණ්ඩලය
ආ. තාක්‍ෂණ මණ්ඩලය

විවිධ ස්පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍ර වාර්තාගත කරන්නේ කෙසේද? වර්ගීකරණයේ නිර්ණායක මොනවාද? වර්ගීකරණයේ පදනම් නොහොත් මිණුම්දඬු මොනවාද? යන්න තීරණය කිරීම හා මිණුමිදඬු උපකාරයෙන් ක්‍ෂේත‍්‍රය කුමණ වර්ගයකට අයත් ද යන්න තීරණය කිරීම විද්වත් මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යය වනු ඇත. එමෙන් ම මෙම යෝජිත පද්ධතිය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අධිකාරි බලය ද මෙම ඒකකයට අයත් වන අතර දිවයිනේ පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂඥයන්ගෙන් සැදි මණ්ඩලයකින් මෙම ඒකකය සමන්විත විය යුතු වේ.

අපේක්‍ෂිත අරමුණු ඉටුවන ආකාරයෙන් අංකිත තාක්‍ෂණය (Digital Technology) යොදාගත හැක්කේ කෙසේද? එහි හැකියාවන් හා සීමාවන් මොනවාද? යන්න පිළිබඳ ව යෝජනා ඉදිරිපත් කර ඒවා ක‍්‍රියාවට නැංවීම තාක්‍ෂණික මණ්ඩලයේ කාර්යය වන අතර පද්ධතිය සඳහා අවැසි මෘදුකාංගමය සහාය (Software Diveloping) මෙම ඒකකය මඟින් සපුරාලනු ඇත.

විද්වත් මණ්ඩලය හා තාක්‍ෂණික මණ්ඩලය යන මෙම දෙපිරිසම එකම මණ්ඩලයක් සේ ක‍්‍රියා කිරීම මඟින් පාලන ඒකකය නිර්මාණය වෙයි.

2. දත්ත යෙදවුම් ඒකකය (Data Entry Module)

පද්ධතිය සඳහා දත්ත යෙදීම පාලන ඒකකයේ අනුමැතිය සහිත පිරිසක් විසින් හා පාලන ඒකකය මඟින් නිර්ණය කරන අවම අවශ්‍යතා සපුරණ මහජන පිරිස් විසින් කෙරෙනු ඇත. විශ්ව ව්‍යාප්ත ජාල පදනමීය පද්ධතියක් වන මෙම පද්ධතිය සඳහා පාලන ඒකකයේ අනුමැතිය සහිත ව ක්‍ෂේත‍්‍ර පිළිබඳ විස්තර, ඡායාරූප, ආකෘති ඉදිරිපත් කිරීමට මහජනයාට ඉඩ සැලැසීම මඟින් මෙම දත්ත පද්ධතිය සඳහා මහජන සහභාගීත්වය හා දැනුවත් කිරීම උපරීම අන්දමින් ලබා ගැනීම අපේක්‍ෂා කරනු ඇත.

3. පොදු පරිශීලන ඒකකය (Public Interface Module)

විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක මෙම පද්ධතියේ පරිශීලනය කිරීමට ගෝලීය මට්ටමින් ඉඩ සලසනු ඇත. එමෙන් ම පරීශීලකයන්, පර්යේෂකයන්, සංචාරකයන් ආදී වෙන වෙන ම ඉලක්කගත කණ්ඩායම් වෙත තොරතුරු සැපයීමේ දී ඒවායේ සීමාවන්, ප‍්‍රමාණයන් ආදිය නිර්ණය කිරීම පාලන ඒකකය මඟින් ඉටු කරනු ඇත. පරිශීලකයන් වර්ග කිරීම (Categorization) ආදිය ද පාලන ඒකකය මඟින් ම සිදු කරනු ඇත.

4. දත්ත නිවැරදිතාව රැකිමේ ඒකකය (Moderation Module)

මෙම ඒකකය මගින් ඇතුල් කරනා දත්ත වල නිවැරදිතාව දිවයිනේ පුරාවිද්‍යාව හා උරුම කළමණාකරණය සම්බන්ධ විශේෂඥයන්ගේ සහයෝගය මගින් තහවුරු කර ගැනිම සිදු කරනු ඇත. මෙමගින් දත්ත වල නිවැරදිතාව උපරිම කර ගැනිම අරමුණ වේ.

අනන්‍ය අංකණය (Unique  Numbering System) 

යෝජිත වාර්තාකරණ පද්ධතියේ දී එක් එක් සංස්කෘතික උරුමය සඳහා අනන්‍ය අංකණයක් හිමිවන අතර එම ක්‍ෂේත‍්‍රය හා සම්බන්ධ ඕනෑම කාර්යයක දී මෙම අංකණය භාවිත කිරීම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලට යෝජනා කරනු ලැබේ. ශ‍්‍රී ලංකා ජනරජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පළාත්, දිස්ත‍්‍රික්ක, ප‍්‍රදේශීය ලේඛම් කොට්ඨාෂ හා ග‍්‍රාම නිලධාරි වසම් අංකණය කිරිමට අනුයාත වන පරිදි මෙම අංකනය ක‍්‍රියාත්මක වනු ඇත.

මෙම අංකය පහත දක්වා ඇති පරිදි සකස් වේ :

පළාත් අංකය – දිස්ත‍්‍රික් අංකය – ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ අංකය – ග‍්‍රාම නිලධාරි වසම් අංකය – ග‍්‍රාමනිලධාරි වසම තුළ ස්පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයේ අනුක‍්‍රමික අංකය – එම ක්‍ෂේත‍්‍රය තුල ස්පර්ශනීය සංස්කෘතික උරුමයේ අනුක‍්‍රමික අංකය

උදාහරණය:

දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රකයේ දෙවිනුවර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තලල්ල ග‍්‍රාමනිලධාරි වසමේ පිහිටා ඇති නාඔටුන්න අම්බලම මෙම පද්ධතියට දත්ත ඇතුළු කිරිමේ අප හට එම ග‍්‍රාමනිලධාරි වසමේදි හමු වු 15 වන ස්පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රය නම් හා එම ක්‍ෂේත‍්‍රය තුල දෙවන සංස්කෘතික උරුමය නම්, එයට හිමි අනන්‍ය අංකය වනුයේ:

2 වන රුපය: යෝජිත අනන්‍ය අංකනය

මෙම ක‍්‍රමවේදය අනුව දිවයිනේ ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයක් අවුල් සහගත වීම අවම වන අන්දමින් වාර්තා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඉදිරි ව්‍යාප්ති අවස්ථා

යෝජිත ආකෘතිය ක‍්‍රියාත්මක වීමේ දී ඉදිරියේ දී සිදු වන බුද්ධිමය හා තාක්‍ෂණික ප‍්‍රසාරණයන් සඳහා තත් පද්ධතිය අනුගත විය හැකි පරිදි හා ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථාන නොවන ක්‍ෂේත‍්‍රයන් වෙත ද ව්‍යාප්ත කිරීමේ හැකියාව සහිත ව මෙය ක‍්‍රියාත්මක වෙයි. ඒ අනුව ඉදිරියේ දී ක‍්‍රියාත්මක කළ හැකි:

  • අස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම
  • ස්වභාවික උරුමය වාර්තා කිරීම
  • පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ එසැනින් වාර්තාගත කොට මධ්‍යගත පද්ධතියක් වෙත දත්ත සම්පේ‍්‍රෂණය කිරීම
  • සංස්කෘතික හා ස්වභාවික උරුමය හා සම්බන්ධ ජාතික ආයතන පද්ධතිය සමඟ ඒකාබද්ධ විය හැකි වීම
  • සංචාරක දැනුවත් කිරීම හා සංචාරක ව්‍යාපාරයෙහි ලා උපකෘත යටිතල පහසුකම් පිළිබඳ දැනුවත් කළ හැකි වීම
  • ජාතික හා ජාත්‍යන්තර අධ්‍යයන පර්යේෂණ අවශ්‍යතා සඳහා දොරටු විවර කිරීම
  • සංස්කෘතික උරුම වාර්තාකරණය සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගි කර ගැනීම යන කරුණුකාරණා කෙරෙහි පහසුවෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව ලැබෙනු ඇත

සමාලෝචනය

පුරාවිද්‍යා විෂයේ හා සංස්කෘතික උරුම වාර්තාකරණය ජාත්‍යන්තර වශයෙන් ඉහළ තලයකට වර්ධනය වී ඇති අතර ම ඒ හා දෙවැනි නොවන අයුරේ තර්ජනයකට ද ලක් වී ඇත. එබැවින් ඉහත සාකච්ඡා කළ අයුරින් නිසි ක‍්‍රියාදාමයකින් යුත්ත ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම අත්‍යවශ්‍ය හා කඩිනම් ජාතික අවශ්‍යතාවක් බවට පත් වී ඇත. පවත්නා ජාතික තත්ත්වය යටතේ පුළුල් දෘෂ්ටියකින් යුක්ත ව විවිධ ආයතන හා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් යුක්ත ව කඩිනමින් මෙම කාර්යය ආරම්භ කිරීම සිදු කළ යුතු වේ.

මෙවැනි ජාතිකමය පද්ධතියකට දත්ත හා තොරතුරු ඇතුළු කිරීම පමාවන මොහොතක් පාසා සංස්කෘතික උරුමයට වන තර්ජනය නොවැලැක්විය හැකි අතර ම උරුමය භාවිත කරමින් ලබා ගත හැකි සමාජ, මානසික, ආර්ථික ප‍්‍රතිලාභයන් ද සමස්ථ මානව ප‍්‍රජාව වෙතින් ගිලිහී යෑම ද සිදු වනු ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Deraniyagala, S. (1992), The Prehistory of Sri Lanka : An Ecological Perspective, Department of Archaeological Survey, Sri Lanka.

 

– – – – – – – – – – – – – – – – – – – – – – – – – –

මෙම පර්යේෂණාත්මක ලිපිය පළමු වරට පහත ප‍්‍රකාශනයේ පළ වූවක් බැව් කාරුණිකව සලකන්න.

  • A. Piyadasa, B. Ambanwala & M. Karunarathne (2013), ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත ස්වරූපයෙන් වාර්තා කිරීමේ ඇවැසියාව හා එ සේ වාර්තා කිරීම සඳහා යෝග්‍ය අංකණ ක්‍රමයක් සහිත ආකෘතියක්, The Proceeding of Annual Research Symposium, Extanded Abstracts 2013, edtor in chief.C.R. Withanachchi, First National Annual Research Symposium on ‘Ancient Heritage for Sustainable Development’ Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihintale. 18th December 2013. (149-153pp.)
  • A. Piyadasa, B. Ambanwala & M. Karunarathne (2009), ශ්‍රී ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එ සේ කිරීම සඳහා යෝජිත ආකෘතියක්, (The necessity of recording tangible Sri Lankan cultural heritage in digital medium and for that purpose proposing a format), National Archaeological Symposium 2009, Department of Archaeology, Colombo, Sri Lanka. (115-124pp.)