Home Blog Page 20

අනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය

ශකිල රාජකරුණා

ශකිල රාජකරුණා

මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ පටන් ලාංකික ජන සමාජයේ සෑම ස්ථරයක් කෙරෙහිම අතිශය ප්‍රබල ලෙස බලපෑම් කළේ ය. ඒ අනුව ආගමික, දේශපාලනික, සමාජීය වශයෙන් පමණක් නොව ඇතැම් අවස්ථා වල දී ආර්ථික තත්වයන් තුළ පවා බුදු දහම හා භික්ෂූත්වය කැපී පෙනෙන්නට විය. දේවානම්පියතිස්ස (ක්‍රි.පූ 250-210) රජුගෙන් පසු ලක් රාජ්‍යයේ බිහි වූ බොහෝ නරපතීන්ගේ අර්බුධකාරී අවස්ථා තුළ දී පවා ආගමික සංස්ථාවේ සහයෝගය බෙහෙවින් විද්‍යමාන විය. භික්ෂූන් නිවැසි ආරාමය නැමැති සංකල්පය මෙහි දී විශේෂ  වේ. මහින්දාගමනයත් සමඟ ලක්දිව නා නා ප්‍රදේශ තුළ බෞද්ධ ආගමික මධ්‍යස්ථාන ගොඩ නැ‍ඟෙන්නට වූ බව මහාවංශය ආදී මූලාශ්‍රය හා දිවයින පුරා විසිරී පැතිරී ඇති ශිලාලේඛන නොබිඳිය හැකි සාධක සපයයි. මහාවංශයට අනුව මුල් කාළයේ දී දේවානම්පියතිස්ස මහරජු විසින් විහාරාරාම කිහිපයක් ම ගොඩ නංවන ලදි. සෑගිරිය (මිහින්තලය), ඉසුරුමුණිය, වෙස්සගිරිය, ථූපාරාමය ආදී විහාරාරාම නිදසුන් වන අතර මහා විහාරය ද දෙවනපෑතිස් රජු‍ගේ ම ඉදි කරවීමකි. පූර්ව ඉදි කිරීම් තුළ එන වෙස්සගිරි විහාරය පිළිබඳ පමණක් මෙහි දී අවධාන‍ය යොමු කෙරේ.

වෙස්සගිරිය යනු, පැරණි ලක්දිව මුල් බුදු සමය ඔස්සේ වර්ධනය වී බොහෝ කාලයක් සැලකිය යුතු මට්ටමක පැවති ආරාමයක් බව මූලාශ්‍රය අනුව පැහැදිලි කර ගත හැක. දෙවන පෑතිස් (ක්‍රි.පූ 250-210) රජු විසින් වෙස්සගිරිය කරවූ බව දීපවංශය ද පිළිගනී. (දීපවංශය, 17 පරිච්ඡේදය, 167 පිට) රජුගේ විහාර කර්මාන්ත අතර කළ නව වැනි ආරාමය වන්නේ වෙස්සගිරිය බව මහාවංශය පවසයි. (මහාවංශය, 20 පරිච්ඡේදය, 20 ගාථාව) පන්සියයක් වෛශ්‍යයන් (එම වංශිකයන්) මිහිඳු තෙරුන් වෙත පැවිදි වී වැඩ විසූ තැන කළ හෙයින් මෙය ‘වෙස්සගිරි’ නම් වූ බව මහාවංශය වැඩි දුරටත් පවසයි (එම, 16 ගාථාව). මහාවංශ ප්‍රකාශය සද්ධර්මාලංකාරය ද පිළිගනී (සද්ධර්මාලංකාර, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 403 පිට). වෙස්සගිරියේ බිහිවීම පිළිබඳ ලක්දිව පසු කාලීන බොහෝ විද්වතුන් අදහස් දක්වා ඇත. මේ පිළිබඳ සාකච්ඡා කරන එච්. එල්ලාවල මහතාගේ අදහස වන්නේ ‘විවිධ අවස්ථා වල දී සමාජයේ විවිධ පන්ති වල අය බොහෝ ගණනින් පැවිදි බිමට ඇතුළත් වූ බවත්, මේ හේතුවෙන් ඔවුන්ගේ වාසය පිණිස වෙන වෙන ම නව ආශ්‍රමයන් බිහි වූ  බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් මහා විහාරයට අමතර ව අරිට්ඨ පබ්බත, ඉස්සර සමණක, වෙස්සගිරි සහ චේතියගිරි වැනි ආශ්‍රම ඇති වූ බවත් ය (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 29 පිට). මේ සම්බන්ධව අදහස් දැක් වූ ආචාර්ය ඊ. ඩබ්ලිව් අධිකාරම් මහතා ද පෙන්වා දෙන්නේ ද ‘වෙස්සගිරි නාමය කුලභේදය අනුව ඇති වී ඇති ‍එකක් බවයි.‘වෙස්ස’ හෙවත් ‘වෙළඳ’ කුලයට අයත් පන්සියයක් දෙනා පැවිදි වී මෙම විහාරයේ විසූ හෙයින් ‘වෙස්සගිරි’ වූ බව’ මහාවංශය සේ එතුමා ද පිළිගනී (අදිකාරම්, ඊ.ඩබ්ලිව්, පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, 269 පිට). මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ද වෙස්සගිරිය සම්බන්ධයෙන් මහාවංශ මතය ම පෙන්වා දී තිබේ (රාහුල හිමි, වල්පොල., ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 62 පිට). ඒ අනුව, ලක්දිව මුල් බුදු සමය ‍පිළිබඳ විමසීමේ දී හුදෙක් වෙස්සගිරි යනු ‘වෛශ්‍ය’ කුලයට අයත් පැවිදි වූ පිරිස් වෙනුවෙන් දේවානම්පියතිස්ස රජු විසින් ඉදි කළ එකක් බව පිළි ගැනීමට මහාවංශය ආදී මූලාශ්‍රයත්, ඒ අනුව යමින් පසු කාලීන බොහෝ ලේඛකයෝත් අභිරුචියක් දක්වන බව පෙනී යයි.

මුල් කාලයෙන් පසු වෙස්සගිරිය පිළිබඳ විශේෂ කර වංශකථා දක්වන්නේ වට්ඨගාමිණී අභය (ක්‍රි.පූ. 103-102) රජුගේ පළමු වර රාජ්‍ය ප්‍රාප්තියෙන් පසු ඇති වූ අර්බුධකාරී අවස්ථාව සම්බන්ධයෙන් එන විස්තරයේ දී ය. සප්ත ද්‍රවිඩ ආක්‍රමණටත්, රුහුණේ නකුල ග්‍රාමයේ තිස්ස හෙවත් තීය නැමැති බ්‍රාහ්මණයා ඇති කළ කැරැල්ලටත් එකවර මුහුණ දිය නොහැකි වූ රජු මාලිගයෙන් පළාගොස් මුලින් ම සැඟවෙන්නේ වෙස්සගිරියට යාබද වනයෙහි ය (මහාවංශය, 33 පරිච්ඡේදය, 49 ගාථාව). එහි දී රජු ඇතුළු පිරිස පෝෂණය කරන්නේ වෙස්සගිරි විහාර වැසි කුත්ථික්කුලමහාතිස්ස හිමියන් විසිනි (මහාවංශය, 33 පරිච්ඡේදය, 50 පිට). මහතෙරුන් විසින් අනාමෘෂ්ට පිණ්ඩපාතය හැර බත් දී රජු පෝෂණය කළ බව වැඩිදුරටත් මූලාශ්‍රය පෙන්වා දෙයි (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිට). නමුත් වංශකතා හැරුණු විට අට්ඨ කතා ආදියේ වෙස්සගිරිය පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ ම නැති තරම් ය.

අනුරාධපුරයේ පිහිටි වෙස්සගිරිය (මෙම ඡායාරූපය https://hiveminer.com/Tags/vessagiriya/Timeline අඩවියෙන් උපුටාගත්තක් බව කාරුණිකව සලකන්න.)

අද වන විට මහින්දාගමනයත් සමග ඇති වූ හා වළගම්බා (ක්‍රි.පූ 103-102) රජු ඇතුළු රාජකීය පිරිස පෝෂණය කළ මහාතිස්ස හිමියන් වැඩ විසූ වෙස්සගිරිය කුමන ප්‍රදේශයක පිහිටියේ ද යන්න පිළිබඳ පවතින්නේ ගැටළු සහගත තත්වයකි. ඇතැම් විට මහින්දාගමනයත් සමඟ ඇති වූ වෙස්සගිරිය හා මහාතිස්ස හිමියන් වැඩ විසූ වෙස්සගිරිය විහාර ද්විත්වයක් වශයෙන් සැළකිය හැකි ආකාරයේ සාධක ද දක්නට නැති අතර දේවානම්පියතිස්ස රජු විසින් කර වූ වෙස්සගිරිය හැරුණු කොට එනමින් වෙනත් විහාරාරාමයක් සම්බන්ධව එකදු මූලාශ්‍රයකවත් මා දන්නා තරමින් සඳහන් වන්නේ ද නැත. ඒ අනුව, දේවානම්පියතිස්ස රජු විසින් කර වූ වෙස්සගිරියත්, මහාතිස්ස හිමියන් විසූ වෙස්සගිරියත් එකක් වශයෙන් සැලකීම මෙහිලා යුක්තියුක්ත බව සිතේ. වර්තමානයේ දී අනුරාධපුර ඉසුරුමුණිය අසල අද පවතින පැරණි කටාර කොටන ලද ලෙන් සහිත සංකීර්ණ වෙස්සගිරිය වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම ස්ථානයේ තිබී කිය වූ ලෙන් ලිපි කිහිපයක්ම මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත (Inscriptions Of Ceylon, Vol.1, No. 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 93a, 93b, 93c,93d, 93e). එසේ ම, පර්වත ලිපි ද කිහිපයක් මෙහි දක්නට ලැබේ (Epigraphia Zeylanica, Vol.1, Plate. 8, 9, 10 etc.). නමුත් උක්ත ලෙන් සහිත සංකීර්ණය  එනමින් හඳුන්වන්නට වූයේ කුමන පදනමක් යටතේදැ’යි පැහැදිලි නැත. පැරණි අනුරාධපුර පූජා නගරයේ ඇතැම් සිද්ධස්ථාන මීට වසර කිහිපයකට පෙර වන්දනාවට පැමිණි බැතිමතුන් හෝ ප්‍රදේශවාසීන් හෝ සාවධ්‍ය ලෙස නම් කර තිබූ ආකාරය පිළිබඳ සිතා බලන විට වර්තමානයේ වෙස්සගිරිය වශයෙන් හඳුන්වන ලෙන් සහිත සංකීර්ණයට ද පෙර කී ඉරණමම අත් වූයේ ද යන්න අමුතුවෙන් සිතා බැලිය යුතු කරුණක් නොවේ (වර්තමානයේ ජේතවනාරාමය දශක කීපයකට පෙර අභයගිරිය වශයෙනුත්, අභයගිරිය ජේතවනාරාමය වශයෙනුත් ව්‍යවහාර කිරීම නිදසුනකි.). Epigraphia Zeylanica හි මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහයන් වෙස්සගිරිය යනුවෙන් දක්වා ඇත්තේ පාරම්පරික නාමයක් බව සඳහන් කර ඇත්තේ එනිසාවෙන් යැයි සිතේ (Epigraphia Zeylanica, Vol.1, Page. 10).  ඒ අනුව, මෙහි දී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණක් නම් අද අප වෙස්සගිරිය යැයි හඳුන්වන ස්ථානය එනමින් ම අතීතයේ දී ද හඳුන්වන ලද බවට කිසිදු අභිලේඛන සාධකයක් නොමැති බවයි.

වෙස්සගිරියේ තිබී සොයා ගත් ශිලා ලේඛනයක ‘ඉසුරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද් මහ වෙහෙර්’ යන ප්‍රකාශය දක්නට ලැබේ (Epigraphia Zeylanica, Vol. 1, page 31-32). මේ පිළිබඳ අවධානය යොමු කරමින්දෝ ඇතැම් විචාරකයන් විසින් ‘වෙස්සගිරි’ නාමය හා ‘ඉස්සරසමණ විහාර’  යන නාමයන් ද්විත්වයෙහි ‘වෙස්ස’ හා ‘ඉස්සර’ යන ප්‍රකාශ ද්විත්වය එකිනෙකට ගලපා වත්මන් වෙස්සගිරියත්, ඉසුරුමුනියත් එක් විහාරාරාමයක් හෝ කථිත ද්විත්වය ම එක් ආරාම සංකීර්ණයක‍ට අයත් බව තහවුරු කිරීමට උත්සාහ ගන්නා ආකාරයක් ද පෙනෙන්නට තිබේ. මෙහි දී ‘වෙස්ස’ යන වදනින් ‘වෛශ්‍ය’ යන අර්ථය නිරූපණය වන බවට පවත්නා අදහස් ලිපියේ මුල විස්තර කර ඇති අතර ඒ අනුව ‘වෙස්ස’ යන්නෙන් ‘වෙළඳ’ නැමැති අරුතත් ප්‍රකට වන බව පිළිගත හැකි මතයකි (භාරතීය ක්‍රමය අනුව වෛශ්‍ය වංශිකයන්ගේ ප්‍රධාන කාර්යභාරයක් ලෙස වෙළඳාම පැවති බව සිහි තබා ගත යුතු ය.).

‘ඉස්සර’ නාමය අනුව යමින් ‘ඉසුරුමුනි’ නාමය ඇති වූ බව වංශකතා අනුව පැහැදිලි වේ. දේවානම්පියතිස්ස රජු විසින් කර වූ විහාරයක් වන ඉසුරුමුණිය ‘මිහිදු මහ තෙරුන් වෙත පැවිදි වූ ඉසුරුමතුන් පන්සියයක් රැඳී සිටි හෙයින් මෙනම් වූ බව’ මහාවංශය පෙන්වා දෙයි (මහාවංශය, 20 පරිච්ඡේදය, 19 ගාථාව). සද්ධර්මාලංකාරය ද මෙම මතයම පිළිගනී (සද්ධර්මාලංකාර, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 403 පිට). මේ බව මහාවංශ ටීකාවේ ද විස්තර කර ඇත (වංසත්ථප්පකාසිනී, 20 පරිච්ඡේදය, 325 පිට). පැවිදි වීමට ප්‍රථම රදළ පන්තියට (ඉස්සර) අයත් වූ භික්ෂූන් පන්සියයක් එහි නේවාසිකව සිටි නිසා එම ආශ්‍රමය මේ නමින් (ඉසුරුමුණි) හැඳින් වූ බව එච්. එල්ලාවල මහතා ද පිළිගන්නා අතර ‘ඉස්සර’ යන වදනට ‘රදළ’ යන අර්ථය දීමට එතුමා ඉදිරිපත් වී ඇති බව පෙනේ (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 27 පිට). ඒ අනුව, පැහැදිලි වශයෙන් ම ‘වෙස්ස’ සහ ‘ඉස්සර’ යනු අර්ථ දෙකක් ගම්‍යමාන කරන්නා වූ වදන් බැව් පැහැදිලි වේ. ‘වෛශ්‍ය වංශිකයන්’ ස්වකීය රැකියාව වූ වෙළඳාම ආදිය පදනම් කර ගනිමින් සමාජයේ බෙදී ගිය හා පිළිගත් එක් කොටසක් වූ අතර ‘ඉස්සර’ හෙවත් ‘ඉසුරුමත්’ යනුවෙන් සමාජයේ ධනය, බලය, කුලය හිමි වූ පුද්ගලයන් හඳුන්වා තිබේ. මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන් ‘ඉස්සර’ හා ‘කුටුම්බික’ යන වදන් සම්බන්ධ‍ කර සාහිත්‍ය මූලාශ්‍රය ආශ්‍රය කර  ගනිමින් තරමක් සාකච්ඡා කර තිබේ (ධීරානන්ද හිමි, හඟුරන්කෙත., රාජ්‍යත්වය, රාජ්‍යය සහ ආගම, 202 පිට). ‍’වෙස්සගිරිය’ හා ‘ඉසුරුමුණිය’ එවකට සමාජය බෙදී තිබූ සමාජ පන්ති ද්විත්වයක පැවිදි පිරිස් වෙත කරවා ඇති විහාර ද්විත්වයක් බව පැහැදිලිව පෙනේ. ඒ අනුව ‘වෛශ්‍ය’ යන වදන තුළින් අදාල කාලයට සමපාත වන සේ ‘ඉස්සර’ යන අර්ථය ගත නොහැක්කේ ඒ වනාහී සමාජ සංස්ථා ද්විත්වයක් වශයෙන් පැහැදිලිව පෙනී යන හෙයින් බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.

ඉසුරුමුණියත්, වෙස්සගිරියත් එකිනෙක සම්බන්ධ කරමින් අදහස් දක්වන මහාචාර්ය හේම එල්ලාවලයන් පවසන්නේ, ‘වෙස්සගිරි ගොඩනැගිලි අතරට ඉතා ආසන්නයේ පිහිටි ඉස්සර සමණ පර්වත විහාරය ද අන්තර්ගත වන්නට ඇති බවට සිතිය හැකි බවත්, ඉස්සර හා වෙස්ස පවුල් වලින් පැවත ආ භික්ෂුහු එක ම භූමි භාගයේ එහෙත් ආශ්‍රම දෙකක වාසය කළහ’යි සිතීම යක්ති යුක්ත බවත් ය’ (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 28 පිට). මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා පවසන්නේ ‘වර්තමානයේ වෙස්සගිරිය යයි හඳුන්වන ස්ථානයේ ‘ඉසිරමන’ යන පදය සඳහන් ශිලා ලිපි කිහිපයක් ම ඇති බවත්,  එහෙයින් නියම ඉසුරුමුණිය වර්තමාන වෙස්සගිරිය වන්නට පිළිවන්  බවත්, එය පිළිබඳ බොහෝ දෙනා පිළිගන්නා අතර ඇතැමුන් ඉසුරුමුණිය යනුවෙන් අද හදුන්වනු ලබන ස්ථානයේ මේඝගිරි හෝ වෙනත් නමකින් හෝ හඳුන්වන ලද විහාරයක් වී යැයි විශ්වාස කරන බවත් ය. මීට අමතර ව වැඩි දුර අදහස් දක්වන එතුමා පවසා සිටින්නේ මේ ස්ථානය අනුරාධපුර යුගයේ මධ්‍ය හා පශ්චිම භාගයේ රජවරුන් ජල ක්‍රීඩා කරන ලද ඒ අසල ඇති රන්මසු උයනේ ම කොටසක් ද යන්න පරීක්ෂා කර බැලීමත් වටිනා බවයි’ (සිරිවීර, ඉන්ද්‍රකීර්ති.,රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, 376 පිට).

අද අප ව්‍යවහාර කරන ‘ඉසුරුමුණිය’ හෝ ‘වෙස්සගිරිය’ ආශ්‍රිත ප්‍රදේශ තුළ මේ වන විටත් ‘ඉසිරමෙනු’ නාමය මිසෙක ‘වෙස්සගිරි’ නාමය ඇති කිසිදු පුරා ලේඛනයක් හමු වී නැති බව පෙර සඳහන් කර ඇත. දැනට විද්‍යමාන සාධක අනුව වත්මනෙහි වෙස්සගිරි යැයි අප හඳුන්වන ප්‍රදේශයේ තිබී හමු වී ඇති සිව් වන මිහිඳුගේ (ක්‍රි.ව. 975) පුවරු ලිපියක මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ ‘ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර්’ වශයෙනි (Epigraphia Zeylanica, Vol. 1, page 31-32). එනම් ‘ඉසුරුමුණි බෝ උපුල්වන් කසුප්ගිරි රජ මහා විහාරය’ යනුවෙනි. පීතෘ ඝාතක කාශ්‍යප රජු විසින් ‍මෙම විහාරය පිළිසකර කරවා ස්වකීය නාමයත් තමන්ගේ දියණියන් දෙදෙනා වූ බෝධි සහ උත්පලවන්නා යන දෙදෙනාගේ නාමයනුත් එක් කොට මෙම විහාරය ඉසුරුමුණි බෝ උපුල්වන් කසුප්ගිරි රජ මහා විහාරය වශයෙන්  නම් කළ බව මහාවංශය (මහාවංශය, 39 පරිච්ඡේදය, 11-12 ගාථා) පවසයි. ඒ අනුව අද වෙස්සගිරිය වශයෙන් හඳුන්වන්නේ එදා ‘ඉසුරුමුණි විහාරය’ සතු ගොඩනැඟිලි කිහිපයක් හා ලෙන් සංකිර්ණයක් බව පැහැදිලි වේ. ‘ඉසුරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර්’ යන ප්‍රකාශය වර්තමාන වෙස්සගිරිය වශයෙන් හඳුන්වන සංකීර්ණයේ ම තිබීමත්, ඉහත ශිලා ලේඛනයේ ම එන ‘තිසා උවනිසා පිහිටි’ යන යෙදුමෙන් ද කථිත විහාරය ‘තිසා වැව උපනිශ්‍රය කොට පිහිටි’ යන අර්ථයෙන් සිටීමත් තුළ ඉහත නිගමනය තව දුරටත් සනාථ වේ. මේ පිළිබඳ පෙන්වා දෙන ඕල්කට් ගුණසේකර මහතා පවසන්නේ ‘වංසකථා වල සඳහන් වන ‘වෙස්සගිරිය’ ඉසුරුමුණිය අසල පිහිටි අද තිබෙන වෙස්සගිරිය නොවන බවට සාක්ෂි දක්වා ඇති බවත් (EZ. Vol. 4. P. 131; CJS G. Vol. 2. P. 182..), එබැවින් වෙස්සගිරිය යයි අද නම් කර ඇති ගල්ලෙන් ඇත්ත වශයෙන් ඉස්සරසමණාරාමය යයි කිව හැකි බවත් ය’ (ගුණසේකර, ඕල්කට්, අනුරාධපුර යුගය, ශාසනික ප්‍රවෘත්ති, 267 පිට – අමරදාස ලියනගමගේ  හා රණවීර ගුණවර්ධන සංස්කරණය).

වෙස්සගිරිය හා ඉසුරුමුණිය එක් විහාරයක් වශයෙන් ඇතැමුන් පවසා සිටිය ද ඒ වනාහී එක් විහාරයක් නොව විහාර ද්විත්වයක් බවට සනාථ වන සාධක වංශකතා ආදී මූලාශ්‍රය තුලින් ම පැහැදිලි වේ. දෙවනපෑතිස් රජු (ක්‍රි.පූ 250-210) විසින් සය වැනි විහාරය වශයෙන් ඉසුරුමුණිය ඉදි කර වෙස්සගිරිය ඉදි කරන්නේ නව වැනි ඉදිකිරීම වශයෙනි. එනම් ඉසුරුමුණි  විහාරය කරවා සත් වැනිව තිසා වැවත්, අට වැනි ව ප්‍රථම ස්ථූපයත් (පඨමක ථූපය) ඉදි කර (මීට අමතර ව සද්ධර්මාලංකාරය නිවත්තක චේතිය කරවීමක් පිළිබද මහාවංශය ඉක්මවා යමින් තොරතුරු සඳහන් කර තිබේ. – සද්ධර්මාලංකාරය, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 405 පිට) මීළඟ කර්මාන්තය වශයෙන් වෙස්සගිරිය ‍කරවයි (මහාවංශය,  20 පරිච්ඡේදය, 19-20 ගාථා). මහාවංශ ටීකාව ද මේ පිළිබඳ විස්තර කර තිබේ (වංසත්ථප්පකාසිනී, 20 පරිච්ඡේදය, 325 පිට). සද්ධර්මාලංකාරය ද මහාවංශ මතය පිළිගනී (සද්ධර්මාලංකාරය, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 405 පිට). වෙස්සගිරියත්, ඉසුරුමුණියත් එකක් නොව ‍විහාර ද්විත්වයක් බවට එක් සාධකයක් ලැබේ. ඒ හැර ‘පංච මහා ආවාස’ පිළිබඳ සඳහන් විස්තරයේ දී ද ඉසුරුමුණිය හා වෙස්සගිරිය එකක් නොව විහාර දෙකක් බවට සාධක ලැබේ. ‘මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මහසෙන් රජුගේ සමයට අයත් යැයි පෙන්වා දෙන රජෙකුගේ නමක් රහිත එක් ශිලා ලේඛනයක (ජේතවනාරාම ශිලා ලිපිය, EZ. Vol. 4 pp. 273-285.) ‘පස් අරමෙහි’ (පච-මහ-අවසහි) නිවැසි භික්ෂූන් අනුගමනය කළ ධර්‍ම පාලනය කළ යුතු බව සඳහන් වී තිබේ. නිකාය සංග්‍රහය ආශ්‍රයෙන් මේ ආරාම පහ, ථේරවාද මධ්‍යස්ථාන වූ මහා විහාරය, චේතිය විහාරය, ඉස්සරසමණ විහාරය, ථූපාරාමය, වෙස්සගිරිය යන විහාරය බැව් පෙන්වා දී ඇත’ (ගුණසේකර, ඕල්කට්., අනුරාධපුර යුගය, ශාසනික ප්‍රවෘත්ති, 279-280 පිටු – අමරදාස ලියනගමගේ  හා රණවීර ගුණවර්ධන සංස්කරණය). ඒ අනුව ඉසුරුමුණිය හා වෙස්සගිරිය යනු විහාරාරාම දෙකක් බවට දෙ වන සාධකයත් ලැබේ. මෙනයින් කල්පනා කර බලන විට උක්ත විහාරාරාම යුගලය එකක් වශයෙන් සලකා ඉදිරිපත් කරන මතවාදය බිඳ වැටෙන බව පෙනී යයි. වත්මන් වෙස්සගිරි යැයි හඳුන්වන විහාරයේත්, ඉසුරුමුණි විහාරයේත් පිහිටීම දෙස අවධානය යොමු කර බලන විට ‍ඇති සමීපස්ථ බව අනුව තවත් අතෙකින් මේ වනාහී විහාර දෙකක් වශයෙන් පැවති එකක් නොව එක් විහාරයක් වශයෙන් පැවති එකක් බව පෙනී යයි. ඒ හැර පෙර සඳහන් කළ ලෙස ම ‘ඉසුරමෙනු බෝ උපුල්වන් රද්මහ වෙහෙර්’ නාමය සහිත පුරාලේඛ පාඨය වත්මනෙහි වෙස්සගිරිය වශයෙන් හඳුන්වන ප්‍රදේශය තුළ තිබී හමු වීම තුළ අතීතයේ වත්මනෙහි වෙස්සගිරි ලෙස හඳුන්වන ප්‍රදේශය ‘ඉසුරුමුණි’ ලෙස හැඳින් වූ බව වඩාත් තහවුරු වේ.

මහාවංශය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙන් පසු වෙස්සගිරිය පිළිබඳ විශේෂ කොට සඳහන් කරන්නේ වට්ඨ ගාමිණී අභය නොහොත් වළගම්බා රාජ්‍ය සමය සම්බන්ධයෙනි. මුලින් සඳහන් කළ ලෙස ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුරයෙන් පලා යන රජු කෙටි කළක් කුප්පික්කලී මහා තිස්ස හිමියන්ගේ (කුත්ථිකකුල මහා තිස්ස හිමි, 20 පරිච්ඡේදය – සිංහල මහාවංශය) ආරක්ෂාව හා පෝෂණය (අනාමට්ඨ පිණ්ඩදානයෙන් වැළකී රජු ඇතුළු රාජකීයයන් පිරිස මහා තිස්ස හිමියන් විසින් පෝෂණය කළ බව මහාවංශ ටීකාව පෙන්වා දෙයි. අනාමට්ඨ පිණ්ඩදානය යනු නොවැළඳූ පිණ්ඩපාතය ලබා දීමයි. – වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිට) මධ්‍යයේ වෙස්සගිරියේ සැඟ වී සිටි බවත්, රජු විසින් කෘතගුණ සැලකීමක් වශයෙන් වැ‍ටකේ පතක ලියා අදාල විහාරය මහා තිස්ස හිමියන්ට පවරා දුන් බවත් මූලාශ්‍රය පෙන්වා දෙයි (මහාවංශය, 33 පරිච්ඡේදය, 51 ගාථාව).

නිවැරදි වෙස්සගිරිය පිහිටා ඇති ප්‍රදේශය හෝ අවම තරමින් දිශාවවත් තීරණය කිරීම කෙරෙහි උපයෝගී කර ගත හැකි සාධකයක් වශයෙන් ඉහත ප්‍රකාශය වැදගත් වේ. ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ පළායන රජු ගමන් කරන්නේ නගරයේ උතුරු දෙසටයි. වත්මන් අභයගිරිය පිහිටා ඇත්තේ පැරණි අනුරාධපුර නගරයේ උතුරු දෙසට වන්නට වීමත්, ලංකාරාමය වැනි උක්ත සිද්ධියට අනුයාත පසු කාලීන ඉදිකිරීම් ද නගරයේ උතුරු දෙසට වන්නට පිහිටා තිබීමත් මෙය තහවුරු කරයි. පළායන රජු දුටු ගිරි නැමැති නිඝණ්ඨයා ‘මහා කළු සිංහලයා පළා යන්නේ යැ’යි හඬගෑවේ ය (මහාවංශය, 33 පරිච්ඡේදය, 45 ගාථාව). ‘ගිරි’ යනු පරම්පරා නාමයක් වන අතර මෙහි උක්ත නිඝණ්ඨාරාමය කරවන ලද්දේ පණ්ඩුකාභය රජු (ක්‍රි.පූ. 380-310) විසිනි (මහාවංශය, 10 පරිච්ඡේදය, 97 ගාථාව). දෙවන වර රජ බවට පත් වන වට්ටගාමිණී අභය රජු (ක්‍රි.පූ 89-77) විසින් ‘ගිරි’ නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාරාමය කඩා බිඳ දමා එහි ‘අභයගිරි’ නම් ස්ථූපයක් කර වූ බව මූලාශ්‍ර අනුව පෙනී යයි. (මහාවංශය, 33 පරිච්ඡේදය, 83 ගාථාව) අභයගිරි විහාරය ‘අභයුත්තර මහා ථූප, අභයුත්තරාරාමය, අභයුත්තර, උතර චෙත, උත්තර විහාර’ (සුමංගල හිමි, පිටිපන, අභයගිරි සංස්කෘතිය, 53 පිට) වැනි ආවේණික නම් කීපයක් ම පට බැඳී ඇත්තේ නගරයේ උතුරු පසෙහි උක්ත විහාරය පැවතීම නිසාවෙන් බව විවාදයක් නැත. රජු පැහැදිලි ලෙසම පළා යන්නේ අනුරාධපුර පැරණි නගරයේ උතුරු දෙසට වන්නට බව අමුතුවෙන් සාධක දිය යුතු කරුණක් නොවන බව පැහැදිලි වේ.

වත්මන් වෙස්සගිරිය යැයි හඳුන්වන ලෙන් සංකීර්ණය පිහිටා ඇත්තේ පැරණි අනුරාධපුර නගරයේ දකුණු දෙසට වන්නට බව අප අමතක නොකළ යුතු වන අතර උතුරෙන් පැණ යන රජු සැඟවීම පිණිස යළි නගරයේ දකුණු දෙසට පැමිණීම සිදුවිය හැක්කක් නොවන බව තේරුම් ගත හැකි ය. ආක්‍රමණිකයන් හමුවේ නගරයෙන් පළා යන රජු නගරයේ මහා විහාර සීමාවකට අයත් භූමි භාගයකම රැඳී සිටීම ද පිළිගත හැකි සිදුවීමක් නොවේ. මෙවැනි අවස්ථාවක දී ආක්‍රමණිකයන්ගෙන් මිදී හැකි තරම් දුරට පැණ යනවා විනා අග නගර සීමාවේ ම රැඳී සිටීම තරම් අඥාන ක්‍රියාවක් වළගම්බා රජු (ක්‍රි.පූ 103-102) විසින් කළ බවට සිතිය නොහැක. ඒ හැර මහා තිස්ස හිමියන්ගේ පෝෂණය යටතේ කෙටි කළක් රජු ඇතුළු රාජකීයයන් පිරිස සිටි බව ද සිතිය හැකි සාධක මූලාශ්‍රය වල එයි. මහාතිස්ස හිමියන් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිස පෝෂණය කළ බවට එන සඳහන නිදසුනකි (මහාවංශය, 33 පරිච්ඡේදය, 50 ගාථාව). පැරණි අනුරාධපුර නගරයෙන් උතුරු දෙසට වන්නට පිහිටා තිබූ ප්‍රදේශයක ඇතැම් විට පැරණි වෙස්සගිරිය පිහිටා තිබෙන්නට ඇති බව සිතිය හැකි ය. රජු සැඟ වී සිටින්නේ වෙස්සගිරි උපවනයේ හෙයින් උක්ත විහාරය ආශ්‍රිතව සැළකිය යුතු මට්ටමක වන ප්‍රදේශයක් පවා පැවති බව සිතා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඇතැම් විට මෙහි දී කථිත ‘පැරණි වෙස්සගිරිය’ ආරණ්‍යක ස්වරූපයක් ගත් ස්ථානයක්දැ’යි සිතා බැලිය යුතු ය (මුල් කාලයේ නිර්මාණය වූ අරිට්ඨ පබ්බත, සෑගිරි වැනි බොහෝ ආරාම ආරණ්‍යක ස්වරූප ගත් අතර මහා විහාරය පවා ඉදි වන්නේ ‘මහා මේඝ වනෝද්‍යානයේ යි.’). පංච මහා ආවාස වලට අයත් වන එක් ස්ථානයක් වන සෑගිරිය පවා පැරණි අනුරාධපුර නගරයේ සිට වත්මන් ක්‍රමයට අනුව ‌කිලෝමීටර් 12ක් පමණ දුරට වන්නට පිහිටා ඇති හෙයින් පැරණි වෙස්සගිරියත් අනුරාධපුර නගරයේ සිට උතුරු දෙසට වන්නට එවැනි දුරකින් පිහිටා තිබෙන්නට ඇති බව සිතිය හැකි ය (වෙස්සගිරිය ද පංච මහා ආවාසයන්ගෙන් එකකි.)’ වළගම්බා රජු සැඟ වී සිටි වෙස්සගිරිය පිහිටන්නේ දඹුල්ල ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයක බව ඇතැම් මතවාදයකින් කියැවේ.

වෙස්සගිරි උප වනයෙන් නික්මෙන රජු ඉන් පසු ස්වකීය ආරක්ෂාව පිණිස නික්ම යන්නේ ‘ගල්හෙබකඩ’ නැමැති ප්‍රදේශයටයි (මහාවංශය, 33 පරිච්ඡේදය, 52 ගාථාව). වෙස්සගිරි විහාරයෙන් දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා තිබූ ‘පබ්බත විහාරය’ ආසන්නයේ ‘ගල්හෙබකඩ’ පිහිටි බව මහාවංශ ටීකාවේ විස්තර කර ඇත (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිටුව). මේ වනාහී ‘සිලාසොබ්බකණ්ඩකය’ යි. වෙස්සගිරි විහාරයෙන් දකුණු ප්‍රදේශයට වන්නට පබ්බත විහාරය හා සිලාසොබ්බකණ්ඩකය පිහිටි බවට එන සඳහන මිසෙක වෙස්සගිරි විහාරයේ සිට කෙතරම් දුරකින් පබ්බත විහාරයත්, සිලාසොබ්බකණ්ඩකයත් පිහිටා තිබුණේ ද යන්න මහාවංශය හෝ වංසත්ථප්පකාසිනිය පෙන්වා දෙන්නේ නැත. සිලාසොබ්බඛණ්ඩකයෙන් පිට වන රජු ඇතුළු පිරිස මලය රටට පැමිණෙන බව මූලාශ්‍රය අනුව ප්‍රකට වීම තුළ (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිටුව) බොහෝ විට ‘සිලාසොබ්බඛණ්ඩකය’ නගරයෙන් දකුණු පසට වන්නට පිහිටි බව පිළිගත හැකි මතයක් බව පෙ‍නේ. ඇතැම් විට නගරයේ උතුරු දෙසට වන්නට පිහිටි වෙස්සගිරි උප වනයේ සැඟ වී සිටි රජු ආක්‍රමණිකයන්ගේ වියරුව හා කලබළකාරී තත්වය පහව ගිය පසු රහසේ ම නගරයේ දකුණු දෙසට පළා ගොස් සැඟ වී සිටි බව එක් අතෙකින් සිතිය හැකි ය.

දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද ‘වෙස්සගිරි’ විහාරයත්, වට්ටගාමිණී අභය රජු සැඟ වී සිටි වෙස්සගිරි විහාරයත් ඇතැම් විට එකම විහාරය වශයෙන් සැළකිය හැකි අතර වර්තමානයේ දී ‘වෙස්සගිරිය’ වශයෙන් හඳුන්වන පැරණි ඉසුරුමුණිය අසල ඇති ලෙන් සහිත සංකීර්ණය තිස්ස (ක්‍රි.පූ 250-210) හා වළගම්බා (ක්‍රි.පූ 103-102) යන රජුන් විෂයෙහි කථිත වෙස්සගිරිය නොවන බවත්, නිවැරදි ‘වෙස්සගිරිය’ මෙතෙක් නිශ්චිත වශයෙන් ම තහවුරු කර නැති අතර පැරණි ඉතිහාසයේ නොවිසඳුනු තවත් එක් ස්ථාන නාමයක් වශයෙන් ‘වෙස්සගිරි’ ආරාම සංකීර්ණය පවතින බව සදහන් කළ යුතු කාරණාවකි.

ආශ්‍රිත මූලාශ්‍රය

  1. සිංහල මහාවංශය, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004
  2. වංසත්ථප්පකාසිනී, අකුරටියේ අමරවංස හිමි, හේමචන්ද්‍ර දිසානායක, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2001
  3. සිංහල දීපවංශය, චන්ද්‍රදාස කහඳව ආරච්චි, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006
  4. පූජාවලිය, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, ඇම්.ඩී ගුණසේන සහ සමාගම, 1986
  5. සිංහල බෝධි වංශය, නන්දසේන රත්නපාල, ප්‍රදීප ප්‍රකාශකයෝ
  6. නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 1997
  7. සද්ධර්මාලංකාරය, මීගොඩ පඤ්ඤාලෝක හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 1997
  8. අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ, රණවීර ගුණවර්ධන සංස්කරණ, ඇස්. ගොඩගේ සහ සමාගම, 2014
  9. අභයගිරි සංස්කෘතිය, පිටිපන සුමංගල හිමි, ප්‍රදීප ප්‍රකාශකයෝ, 1977
  10. රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, ඉන්ද්‍රකීර්ති සිරිවීර, දයාවංශ ජයකොඩි සහ සමාගම, 2001
  11. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, ඊ.ඩබ්ලිව් අදිකාරම්, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2013
  12. සංක්ෂිප්ත ලංකා ඉතිහාසය, එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන්, දීපානි සමාගම, 1998 (කේ. එස් සෙනෙවිරත්න පරිවර්තන)
  13. රජරට ප්‍රවේණිය, චන්ද්‍රා වික්‍රමගමගේ, රජරට සංවර්ධන බැංකුව, 2004
  14. රාජ්‍යත්වය, රාජ්‍යය සහ ආගම, හඟුරන්කෙත ධීරානන්ද හිමි, ආරිය ප්‍රකාශකයෝ, 2004
  15. ලංකාවේ ඓතිහාසික භූමි සිතුවම්, කුඩාවැල්ලේ ධීරානන්ද කළ්‍යාණවංශ හිමි, ඇම්. ඩී ගුණසේන සහ සමාගම, 1967
  16. ලක්දිව බුදු සමයේ ඉතිහාසය, වල්පොල රාහුල හිමි, එස්. ගොඩ‍ගේ සහ සහෝදරයෝ, 2006
  17. පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, එච්. එල්ලාවල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
  18. Epigrahia Zeylanica, Vol.1, Don Martino De Zilva Wickremasinghe, Asian Educational Survices, 1994
  19. Epigrahia Zeylanica, Vol.4, Don Martino De Zilva Wickremasinghe, Asian Educational Survices, 1994 (Edited And Translated By H.W Codrington And S. Paranavitana)
  20. Inscriptions Of Ceylon, Vol.1, S. Paranavitana, Department Of Archaelogy Ceylon, 1970
--------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය 2017.09.28 දින පළමු වරට www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
--------------------------------------------------------------------------------------------------------

ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් හා අම්පාර, හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්

ඩබ්.එම්. චින්තක සඳරුවන්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

චින්තක සඳරුවන්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය අදින් වසර එක්ලක්ෂ විසිපන්දාහකට පෙර ආරම්භ වී ක‍්‍රියාත්මක වී ඇති බව හඳුනාගෙන ඇත (දැරණියගල, 1991:25-26). මෙම යුගයේ ජිවත් වූ මානවයින් තමන්ගේ වාසස්ථාන ලෙස තෝරාගන්නා ලද්දේ ගල් ලෙන් හා විවෘත භූමි ය. මේ පිළිබඳ සාධක මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණයන්ගෙන් ලැබි ඇත. ෆා-හියංගල, කිතුල්ගල, බටදොඹලෙන, දොරවක ආදි ගුහා ක්ෂේත‍්‍රයන් හා  බුන්දල, පතිරාජවෙල, උස්සන්ගොඩ යන එළිමහන් භූමිත් එහි දී වැදගත් වේ. චාල්ස් ඩාවින්ගේ සත්ත්ව සම්භවයත් මානව පරිණාමයත් පිළිබඳ ව නව ඉගැන්විම් සමාජගත විමත් සමඟ ප‍්‍රාග් මානව සමාජයන් පිළිබඳ ව පුළුල් ව අධ්‍යනය කිරීම ඇරබි අතර එහි ප‍්‍රථිඵලයක් ලෙස ලංකාවේ ජීවත් වන වැදි ජනතාව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වූ බලංගොඩ මානවයන්ගෙන් පැවත එන ජන කොටසක් බව හඳුනාගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර ඇත. වැද්දන් පිළිබඳව අර්ථ දක්වා ඇති ජී. සී. මැන්දිස් විසින් වැද්දන් ලෙස හදුන්වා ඇත්තේ ‘ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශවල විසු පුර්ව ද්‍රවිඩ කැලෑබඳ ජන කොට්ඨාසයක ජීවත් වු ඉරුලා සහ කුරුම්බාවරුන්ට සමාන ගෝත‍්‍රයකින් පැවත එන ජන කොටසක්’ බවයි (මැන්දිස්, 2006:11). ඔවුන් මෙ රට මුල් ම ගෝත‍්‍රික ජනයා වු බව ද ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ වැදි ජනතාව පිළිබඳ ව සී. ජී. සහ බී. ඉසෙඞ් සෙලිග්මාන්, ජොන් ස්ටීල් වැනි පුද්ගලයින් මානවංශ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර ඇත. වැදි ජනයා අධ්‍යයනය කිරිමේ දී අවධානයට ලක්වන තවත් වැදගත් කරුණක් වන්නේ වැදි ජනයා විසින් අදින ලදැ’යි සැළකෙන ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් වේ. ප‍්‍රථමික ශෛලීයේ ගුහා සිතුවම් පිළිබඳ ව විවිධ විද්වතුන් අධ්‍යයනයට ලක් කර විවිධ මත ඉදිරිපත් කර  තිබේ. එව්.සී.පී. බෙල්, සී.ජී. සහ බී.ඉසෙඞ් සෙලිග්මාන්, ජොන් ස්ටීල්, ජී.එෆ්.ආර්. බ‍්‍රවුනින්, පී.ඊ.පී. දැරණියගල, සද්ධාමංගල කරුණාරත්න, ඒ.ටී. රඹුක්වැල්ල, එස්.ජේ. කදිරගාමර්, එල්.ඒ. ආදිත්‍යය, බී.ඩී. නන්දදේව, සෙනරත් වික‍්‍රමසිංහ හා රාජ් ‌සෝමදේව ආදී විද්වත්හු ඒ අතරින් වැදගත් වේ. ප‍්‍රාථමික ශෛලීයේ ගුහා සිතුවම්, ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් මෙන් ම වැදි චිත‍්‍ර යන විවිධ නාමයන්ගෙන් හදුනාගන්නා මෙම සිතුවම් පිළිබඳ ව විවිධ විද්වතුන් අතර මතබේද පවති. සිරාන් දැරණිගල සඳහන් කරන පරිදි ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් ක‍්‍රමයක් ලංකාවේ නොමැත (බිනරගම,2008:14). සේනක බණ්ඩාරණායක මෙම සිතුවම් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිතුවම් ලෙස  ස්ථිර ව සඳහන් නොකල ද ඒවා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ චිත‍්‍ර වශයෙන්  සැලකීම වඩා යෝග්‍යය බවත් නන්දදේව විජේසේකර අදහස් කරන පරිදි ආඬියාගල, ගල්ඔය, බින්තැන්න යන ප‍්‍රදේශවල ඇති ගල් ලෙන්වල ඇඳ ඇති සිතුවම් පසු කාලීන සිතුවම් කලාවට නෑකම් නොදක්වන බව ප‍්‍රකාශ කර ඇත (එම, 14). ප‍්‍රාථමික ශෛලීයේ ගුහා සිතුවම් ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකින් හදුනාගත හැකි ය. එනම්, නැගෙනහිර හා අග්නිදිග ප‍්‍රදේශය, උතුරු මැද ප‍්‍රදේශය, මධ්‍ය කඳුකර ප‍්‍රදේශ ඒ අතර වැදගත් වේ (Nandadeva 1992:341). නන්දදේවගේ මතය අනුව මෙම ප‍්‍ර‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් වැද්දන් විසින් අඳින්නට ඇතැයි උපකල්පනය කර තිබේ. වැදි ජනයා සමුහ වශයෙන් වනාන්තර තුළ තම වාසස්ථාන ගොඩනගා ගන්නා බවත් ඔවුන් දඩයම් කිරිම, මසුන් ඇල්ලීම, ආහාර රැස් කිරිම, ඒවා හැසිරවීම සිදු කළ මෙ රට මුල් පදිංචිකරුවන් බව ද සඳහන් කර ඇත (Nandadeva 1992:338). වැදි ජනයා බලංගොඩ මානව සංස්කෘතියෙන් පැවත එන්නේ යැයි පිළිගන්නේ නම් ඔවුන්ට ස්වභාවික පරිසරය පිළිබඳ ව හසළ දැනුමක් පැවති බව උපකල්පනය හැකි ය. වැද්දන් පිළිබඳ ව සිදු කර ඇති පුර්ව අධ්‍යයනයන් සම්බන්ධව විමසීමේ දී පැහැදිළි වන කරුණක් වන්නේ ඔවුන් මධ්‍යම කඳුකර ප‍්‍රදේශයෙන් බැහැර තැනිතලා භූමි තම පරිභෝජනය සඳහා යොදා ගෙන ඇති බවයි. එම පරිසර කළාපයන් තුළ හඳුනාගත හැකි ජල මුලාශ‍්‍රය, ආහාර පවතින ප‍්‍රදේශ, ජිවත් විමට ආරක්ෂාකාරි වාසස්ථාන ඔවුන් තෝරා ගැනිමේ දි වඩා සැළකිලිමත් වුවා යැයි සිතිම වරදක් නොවේ. දඩයමින් ජිවත් වන මිනිසාගේ මුලික අවශ්‍යතා සපුරා ගැනිමේ දි අදාල පාරිසරක කලාපය තුළ ඔවුන් විසින් හඳුනාගන්නා සත්ව විශේෂ තම කණ්ඩායමේ අනෙක් පිරිස්ට හා අනාගත දරු පරපුරට දැකගනීමට හැකි වන ලෙස තම වාසස්ථාන තුළ සිතුවම් මගින් නිරූපණය කළා විය හැකි ය. සෙලිග්මාන්වරු දක්වන පරිදි සිය සැමියා දඩයමේ ගොස් සිටිය දී ඔවුන් ආපසු එනතෙක් හුදු විනෝදය තකා කාන්තාවන් විසින් මෙම සිතුවම් ඇදි බව ප‍්‍රකාශ කර ඇත (Seligmann 2009:468). ඔවුනොවුන්ට ආවේණික සිතුම්පැතුම් සපුරාලනු වස් මෙම සිතුවම් නිර්මාණය වු බව උපකල්පනය කළ හැකි ය.

සිතුවම් සහිත ගල් ලෙන

හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්

ඇතුපිට නැගි ඇත් ගොව්වා (සිතුවම් ක්‍ෂේත‍්‍රයේ වැදගත්ම සිතුවම ලෙස ප‍්‍රචලිත ය)

හුලංනුගේ පිහිටි ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ක්ෂේත‍්‍රයෙහි ගල් ලෙන තුළ සිතුවම් සියයකට අධික ප‍්‍රමාණයක් හඳුනාගත හැකි ය. ඒවා බොහෝමයක් පැහැදිලි ව හඳුනාගත හැකි අතර ඇතැම් අපහැදිලි සිතුවම් ද දැකගත හැකි ය. මෙම සිතුවම් අතර මිනිස් රූප, සත්ව රූප, සතුන් පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංඛේත හා හඳුනාගත නොහැකි රූප සටහන් ද වේ. මෙම සිතුවම් සහිත ප‍්‍රදේශය මිටර් 16ක් පමණ දිගින් යුක්ත වන අතර මිටර් 2ක් පමණ පළල වපසරියක් තුළ පැතිර පවති. හුලංනුගේ ක්ෂේත‍්‍රය තුළින් හඳුනාගත හැකි සත්ව රූප අතර බහුලව ම හමුවන්නේ ඇත් හා අලි රූප වේ. තදාශ‍්‍රිත ප‍්‍රදේශය ආශ‍්‍රිත ව ලාහුගල වනෝද්‍යානය පිහිටා ඇති අතර වන අලි ගහණය ඉහළ ය. මෙම ප‍්‍රදේශවල ජිවත් වු වැදි ජනයාට බහුලව ම හමුවන්නට ඇත්තේ මෙම සත්ව විශේෂය බව පෙනේ. වර්තමානය තුළ ද වන අලියන් මෙම ප‍්‍රදේශයේ බහුල ව හඳුනාගත හැකි ය. සුදු, අළු හා රතු යන වර්ණ තුනෙන් ම මෙම සත්ව රූප ඇඳ ඇත. ඇතැම් හස්ති රූ සටහන් ඇදීමේ දි වඩා සැලකිලිමත් වි ඇති අතර ඇතැම් රූප සටහන් ඇදීමේ දි එ තරම් සැළකිල්ලක් දක්වා නැති බව ද හදුනාගත හැකි ය. හස්ති රූපයන්ට අමතර ව කබර ගොයාට අයත් සත්ව රූප ද  හදුනගත හැකි ය. මෙම සිතුවමෙහි හිස කොටස හඳුනාගත නොහැකි ය. මෙම සිතුවමෙහි විශේෂත්වය වන්නේ සිතුවම වටා සමාන්තර ව තිත් මගින් පේළි තුනක්, දෙකක් හා එකක් පිහිටන ලෙස සිතුවම් කර පැවතීම ය. මෙම සම්පුර්ණ සිතුවම් අළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. මෙ මගින් යම් අභිචාර ක‍්‍රමයක් නිරූපණය වනවා දැයි සොයා බැලිය යුතු වේ. මෙම සිතුවමට සමාන නොවුවත් සිතුවම වටා තිත් සළකුණු සහිත තවත් සිතුවමක් ද මෙම ක්ෂේත‍්‍රයෙන් හඳුනාගත හැකි ය. ඇතැම් විට සිතුවමේ අලංකාරය සඳහා මෙසේ යෙදුවා ද විය හැකි ය. මෙය ට අමතර ව වලිගය රහිත පාදවල ඇගිලි තුනක් ඇති උරඟ වර්ගයේ තවත් සත්ත්වයෙක් ද ඉබ්බාගේ හැඩය ගන්නා සත්ව රූපයක් ද හඳුනාගත හැකි වේ. මානව රූප නිර්මාණය කිරිමේ දී ද පෙර දක්වන ලද වර්ණ ත‍්‍රිත්වය ම භාවිත කර ඇති බව හඳුනාගත හැකි ය. මෙහි දී සතාගේ ශරීර අංග පමණක් දක්වා ඇත. ඇතැම් මානව රූපය තනි වශයෙන් ද ඇතැම් ඒවා සමුහ වශයෙන් ද දක්වා ඇත. සමුහ වශයෙන් මානව රූප දක්වන එක් සිතුවම් පෙළක එක් මිනිසෙකුගේ හිසෙහි කණ හෝ යම් ආභරණයක් හෝ පළඳනාවක් දක්වා ඇත. මානව රූප සිතුවම්කරනයේ  දී සරල ව  ඒවා ඇඳ ඇති අතර අත් හා පා වල ඇගිලි අක‍්‍රමවත් අයුරින් දක්වා ඇත. මෙම රූ සටහන් බොහෝමයක් චලනාත්මක ස්වරූපයෙන් දක්වන අතර ඇතැම් සිතුවම් සංකේතාත්මක ව නිරූපණය කිරිම් ද විශේෂ වේ. හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ක්ෂේත‍්‍රයේ වැදගත් සිතුවම් අතර සතුන් මත නැගි මානව රූප වැදගත් වේ. ඒවා අතර ඇතුන් හා අලියන් පිට නැගි මානව රූප වැදගත් වේ. ක්ෂේත‍්‍රය තුළින් නිරූපිත විචාරයට බඳුන් කළ හැකි වැදගත් ම සිතුවම මෙම කාණ්ඩය නියෝජනය කරයි. ඇතෙකු පිට නැගි ප‍්‍රධානියෙකු යැයි සිතිය හැකි මානව රුවක් එහි වෙයි. මානව රුවෙහි හිස අලංකාරාත්මක ව නිරූපණය කර ඇති අතර යම් වාදන භාණ්ඩයක්

කබරගොයෙකුට සමාන සතෙක් (හිස හඳුනාගත නොහැක)

පිබින (වාදනය කරන) ආකාරයෙන් එය දක්වා ඇති අතර එය රතු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. සමස්ත සිතුවම අළු හා රතු වර්ණයෙන් සරසා ඇත. හස්තියාගේ පිටෙහි රතු වර්ණයෙන් රේඛා ඇඳ ඇත. එය ඇතැම් විට හස්තියා මත දැමු ආවරණයක් (පොරවනයක්) යැයි උපකල්පනය කළ හැකි ය. හස්තියාගේ දළ ඉතා දිග ය. හිස, හොඬ හා පාද ස්වභාවිකත්වයෙන් නිරූපණය කිරිමට උත්සහ දරා ඇති බව පෙනේ. හස්තියාගේ යට තවත් කුඩා ඇත් පැටවකු ඇත. මෙම හස්ති රූප දෙක ම එක මත ඇඳ පාද වලින් හා හිසෙන් වෙන්කර හස්ථින් දෙදෙනෙක් ලෙස නිරුපණය කිරිමට උත්සහ කර ඇත. හස්තින් මත නැගි මානව රූප නිරුපිත අනෙක් සිතුවම් මෙ තරම් සැළකිල්ලෙන් ඇඳ නැති බව හදුනාගත හැකි ය. අනෙක් සිතුවවම් තුළ ඇතුන් මෙන් ම අලින් පිට නැගි මානව රූප ද දැකගත හැකි ය. මෙහි ඇති ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් අතර ඉර හා හඳ නිරූපණය කළ අවස්ථා හමුවන්නේ දෙකක් පමණි. මෙම සිතුවම් අළු වර්ණයෙන් යුක්ත වේ. ඉර නිරූපණය කිරිමේ දි දික් අතට ඉරි හතරක් මගින් ජේදනය කර රවුමකින් ආවරණය කරමින් නිරූපණය කර ඇත. හඳ නිරූපණය කිරිමේ දී ද සම්පුර්ණයෙන් ම වෘත්ත හැඩයක් වර්ණ ගන්වා එය ආවරණය වන පරිදි නැවත රවුමක් ඇඳ ඇත. ඉර හා හඳ සිතුවම් කිරිමේ දී සත්ව හෝ මානව සිතුවම් අසලින් ම ඇඳ ඇත. ප‍්‍රධාන සිතුවම් වලට අමතර ව සංකේතමය හා හඳුනාගැනිමට නොහැකි සිතුවම් ද මෙම ක්ෂේත‍්‍රය තුළින් අණාවරණය කර ගැනීමට හැකියාව පවති. ඇතැම් විට එයට හේතු වන්නට ඇත්තේ සිතුවම් වල ජීවමාන කාලය ඉක්මවා යාම විය හැකි ය. එසේත් නොමැතිනම් සැලකිලිමක් නෙවෙමින් සිදු කළ වර්ණ ආලේප කිරිම් විය හැකි ය.

වර්ණ භාවිතය

මෙහි සිතුවම් ඇදීමේ දී භාවිත ශිල්ප ක‍්‍රමය වන්නේ සායම් හෝ වෙනත් ද්‍රව්‍යක් ආලේප කිරිම මගින් සිතුවම් නිර්මාණය කිරිමයි. එහි දී සිතුවමක් නිර්මාණය කිරිමේ දි එක් වර්ණයක් භාවිත කර ඇති අතර වර්ණ තුනකින් සිතුවම් නිර්මාණය කර ඇත. එ නම් රතු, අළු හා සුදු වර්ණ වේ (Somadeva 2012:129-130). මෙහි ඇති එක් සිතුවමක් පමණක් වර්ණ දෙකක් උපයෝගි කර ගනිමින් අැඳ ඇත. මෙහි හඳුනාගත හැකි සිතුවම් නිදහස් ව ඇඳ ඇති බව හදුනාගත හැකි අතර ඇතැම් සිතුවම් සන්යමයෙන් ඇදීම හා වර්ණ ගැන්වීම ද සුදු කළ බව හඳුනාගත හැකි වේ. සිතුවම් නිර්මාණයේ දී ප‍්‍රාථමික සිතුවම් නිර්මාණ ශීල්පීයා මේ සඳහා ස්වාභාවික වර්ණ භාවිත කර ඇති අතර තලය මත සිතුවම් ඇදීමට ඇගිල්ල උපයෝගී කර ගෙන ඇති බව එම සිතුවම් අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකි ය.

සමාලෝචනය

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රථමික ශෛලියේ ගුහා සිතුවම් පිළිබඳ ව විවිධ තර්ක පැවතියත් මේ පිළිබඳ ව වාර්ථා කිරිම් පිටපත් කිරීම් ආදිය සිදු කොට ඇති අයුරු හඳුනාගත හැකි ය. මෙම සිතුවම් සහිත ක්ෂේත‍්‍රය වැදගත් විමට තවත් හේතුවක් වන්නේ මෙම ප‍්‍රදේශය හුදකලා ක්ෂේත‍්‍රයක් නොවිමයි. මෙම ආසන්න කලාපය තුළ නීලගිරිය, සංගමන් කන්ද තුඩුව, කුඩුම්බිගල ආදි ක්ෂේත‍්‍ර ආශි‍්‍රතව ද ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් හඳුනාගත හැකි ය. වැද්දන් විසින් අදින ලදැයි බොහෝ දුරට විශ්වාස කරනු ලබන මෙම සිතුවම් පුරා විද්‍යාත්මක වැදගත් සාධකයන් වුව ද මෙම සිතුවම් පිටපත් කිරිම්, සංරක්ෂණය කිරිම් හෝ ඒ පිළිබඳ ව දැනුවත් කිරිම් තුළින් හෝ ආරක්ෂා කර ගැනිමට නිවැරද වැඩපිළිවෙළක් නොමැති විම නිසා විනාශ වි යාමේ අවධානයක් ද පවති. සිතුවම් සීරිම, ඒ මත වෙනත් ආලේප යෙදීම හෝ විකෘති කිරිම් නිසා සිතුවම් විනාශ වී යාම සිදු වේ. මෙම නිසාවෙන් මෙම ජාතික උරුමයන් රැක ගැනිමට යොමුවිම ජාතික අවශ්‍යතාවකි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • මැන්දිස්, ජී. සී. (2006), ලංකා ඉතිහාසයේ ආදි යුගය, පරි. ලලිත් හීන්ගම, සරසවි ප‍්‍රකාශකයෝ, කොළඹ.
  • බිනරගම, දයානන්ද (2008), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමික චිත‍්‍ර කලාව සහ ප‍්‍රාථමික ලේඛන කලාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • දැරණියගල, සිරාන් (1991), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය, පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.
  • Nandadeva, B.D. (1986), Rock Art sites of Sri Lanka, Ancient Ceylon, Journal of the archaeology survey department of sri lanka, Colombo’
  • Nandadeva, B.D. (1992), Rock Art of Sri Lanka, Rock Art in the Old World, Indira Gandhi National Center for the Arts, Central vista Mess, New Delhi.
  • Seligmann, C.G. & Branda Z. Seligmann, (2009), The veddas, පරි. නිස්සංක පේරේරා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • Somadeva, R. (2012) Rock painting & engraving sites in Sri Lanka, Postgraduate Institute of Archaeology, Colombo.
---------------------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.09.18 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------------------

පුරාණ ලංකාවේ ක‍්‍රියාත්මක බැංකු ක‍්‍රම පිළිබඳව කියැවෙන තෝනිගල සෙල්ලිපිය

බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

හැඳින්වීම

ලෝකයේ සෙසු රටවල් සමග සසදන කල ශ‍්‍රි ලංකාව  ප‍්‍රාග් ඓතිහාසික සාධක සහිත ඉතිහාසයක් මෙන්ම විශේෂ ලිඛිත ඉතිහාසයක් උරුම කොටගෙන ඇති රටකි. එහි දී ඓතිහාසික යුගය පෝෂණය කිරීම සඳහා සාහිත්‍ය මූලාශ‍්‍රය වලින් හා සෙල්ලිපි වලින් ලැබී ඇති පිටුබලය අතිමහත්ය. දිවයිනේ නන්දෙසින් සොයාගෙන ඇති මෙබඳු වූ දහස් ගණනක් වූ සෙල්ලිපි අතරින් ලංකාවේ පැරණි බැංකු ගැන කියැවෙන තෝනිගල සෙල්ලිපියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.

වව්නියාවේ සිට හොරොව්පොතානට පිවිසෙන මාර්ගයේ 6 වැනි සැතපුම් කණුවට මදක් නුදුරින් උතුරු දිශාවට වන්නට උතුර – උතුරු මැද දෙ පලාත වෙන් කරන සීමාවෙහි තිලක්කුලම නම් පෙදෙසේ පිහිටි ගල් තලාවක් මත තෝනිගල සෙල්ලිපිය සටහන්ව ඇත. එසේම ‘නාගරගල’ යන නමින්ද මෙම ස්ථානය ගම් වැසියෝ හඳුන්වනු ලබති. සෙල්ලිපිය පිහිටි පර්වතය හාත්පස බෙහෙවින් විනාශයට පත්ව ඇති විවිධ ආරාමික වාස්තු විද්‍යාත්මක අවශේෂයන් බොහොමයක් දැක ගත හැකි ය. මෙම නටඹුන් වලට ආසන්නව ගල්තලාවේ වෙන් වෙන්ව සටහන් කල සෙල්ලිපි තුනක් දැකගත හැකි ය. මින් එකක් අපගේ මාතෘකාවට අදාල සෙල්ලිපිය වන අතර අනෙක එම සෙල්ලිපියේම තවත් පිටපතක කොටසකි. ඇතැම්විට ප‍්‍රථමයෙන් ලියන්නට පටන් ගන්නට ඇත්තේ දෙ වැනියට කී සෙල්ලිපිය විය හැකි ය. එය කෙටීමේ දී සිදු වූ කිසියම් දෝෂයක් නිසාවෙන් ලිපිය බාගෙට සටහන් කර නවතා දමා නව ලිපිය සම්පූර්ණ වශයෙන් සටහන් කළා වීමට පිළිවන. අනෙක් තුන්වැනි ලිපිය තෝනිගල ප‍්‍රධාන ලිපියට සියවස් කිහිපයකට පෙර ලියන ලද තනි අක්‍ෂර පෙලකින් යුතු ලිපියකි. මෙම ලිපිය මෙතෙක් පලකළ බවට සාධක නැත. සෙනරත් පරණවිතාන පවා දැක ඇත්තේ මුලින් සදහන් කළ ලිපි දෙක පමණි (Paranavitana 1933:197).  නමුත් මෙහි දී අපගේ අවධානය යෙමුවන්නේ අක්‍ෂර පේළි 17කින් යුතු ප‍්‍රධාන ලිපිය පිළිබඳව ය. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8ක් හා අවසාන පේළිය අඩි 2ක් දිගින් යුක්ත ය. අඩි 10ක පමණ ප‍්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්‍ෂරයක සාමාන්‍යය ප‍්‍රමාණය වන්නේ අඟල් 3ක් පමණ ය.

මෙම ලිපිය පිළිබදව පූර්ණ අධ්‍යයනයක් පළමු වතාවට සිදුකර ඇත්තේ සෙනරත් පරණවිතාන (Paranavitana 1933:172-188) ය. ඒ මහතා සදහන් කරන පරිදි මෙම ලිපිය පිළිබඳ ව පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් වර්තා කොට ඇති බවත්, එසේම 1892 දී එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස් වරයාලෙස කටයුතු කළ ඞී.එම්.එස්. වික‍්‍රමසිංහ මෙහි තිබූ ලිපි පිටපත් කර එම වර්ෂයේ ම පාලන වාර්තාවේ ශිලා ලිපි ලැයිස්තුවේ අංක 34, 35 යටතේ වර්තා කර ඇති බවත්, එච්.සී.පී. බෙල්ගේ අධීක්‍ෂණයෙන් යුතුව මෙම ලිපියේ නේත‍්‍ර පිට පතක් සකසන ලදු ව එය තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අතර තිබුන ද මෙම ලිපිය කිසිවකුත් විසින් සාර්ථකව කියවා ඉදිරිපත් නොකළ බව ද වාර්තා කර ඇත (Paranavitana 1933:19-72).

තෝණිගල සෙල්ලිපියේ ස්පර්ෂ ලාංඡනයේ පිටපත

අන්තර්ගතය

දේව නැමැත්තකු විසින් ‘යහිස පර්වත විහාරයෙ’හි වැඩවසමින් අරියවංශ පූජාව පවත්වන භික්‍ෂූන්ගේ ප‍්‍රත්‍ය පහසුකම් සැලසීම සඳහා ‘කළහුමනක’ නම් වෙළෙඳ මධ්‍යස්ථානයෙහි වී, උදු, මුං ආදිය තැන්පත් කොට එහි පොළිය සංඝයාට ලැබෙන සේ සම්පාදනය කොට තිබීම මෙහි ප‍්‍රමුඛතම සඳහනයි. ඊට අමතරව ලංකාවේ භාවිත පැරණි බැංකු ක‍්‍රම, කෘෂිකාර්මික කටයුතු, මිණුම් ක‍්‍රම මෙන්ම තත්කාලීන ආගමික, ආර්ථික හා සාමාජික තත්ත්වය පිළිබඳ ව කරුණු අන්තර්ගතව පවතී.

පෙළ

  1. සි පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ වත ලෙගි
  2. නක  තිනවනක වසහි නකරහි උතරපසහි කළ හුමනක නියම තනහි සිය අ-
  3. විය කිණියෙහි නිකත කඩු බලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය
  4. හ පුත දෙවයහ යහිස පවය නවවහෙරකෙහි දින අරිය ච
  5. ස වට වී දෙහකඩ දස අමණක වී ඉච ස අමණක
  6. උදිඉව බයලි දස අමණක ඉව (*) මෙදෙහකඩ දස අ-
  7. මණක වී පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ ම-
  8. දෙහසහි වෙඪ පචවිසිය අමණක වී ඉච මෙස අමණක උදිහි
  9. වෙඪ එක අමණ දෙපෙකඩක උදිඉව දසඅමණක බයලිහි වෙඪ අ
  10. මණ දෙපෙකඩක බයලි ඉව (*) මෙවනක වනහි ගහෙ කිණිය විටවය වෙ
  11. ඪගෙණ තිණඩහකට දනවටඉව අතරකජක වටඉව අතරකජ
  12. (පරි) කර යපෙනි ඉච දී මියවට පෙණිතිල ඉච බුත තෙල ඉච ලොණ ඉච
  13. පලහවට ඉච වෙටලය ඉච වහෙර- ගසර-ප- පචනහි
  14. මිලිය පදිය ඉව  (*)මෙව (නක) වෙඪ වනක ගෙණ වනය ච(න)ය
  15. අතොවසභි නිකමණිය චදපුණමස දොළසපක දිවස
  16. (අ) රියවස කරන මහබිකු සගහට නියතකොටු යහිසපව(තන)
  17. ව වහෙරක හි  දිනි (*)

අර්ථය

මංගලයක් වේවා. පෘතුවීශ්වර (පෙරසිටි) මහසෙන මහ රජුගේ පුත‍්‍ර වූ සිරි මේඝවණ්ණ අභය මහරජතුමා සේසත් එස වූ තුන්වන වර්ෂයේ දී නගරයෙ හි උතුරු  දිශාවේ කලහුමනක නම් වෙළඳ සභාවේ (බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරනලද වස්තුව අඩුවීමක් හෝ හීනවීමක් නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍යය පර්ෂදයේ සිවගේ පුත‍්‍රයා වන දේව විසින් යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලද අරියවංශ වෘත්තිය පැවැත්වීම සදහා වී සකට (කරත්ත) දෙකක් හා දස අමුණක වී ද අමුණු හයක උදු ද මුං ඇට අමුණු දහයක් ද දෙන ලදි. මෙම දස අමුණක වී වල මහකන්නයේ පොළිය ද යළකන්නයේ පොළිය ද මැදකන්නයේ පොළිය ද වශයෙන් අමුණු විසිපහක වී ද උදු හය අමුණක පොළිය උදු එක අමුණු පෙකඩ දෙකක් ද මුං දස අමුණක පොළිය අමුණු දෙකයි පෙකඩ දෙකක්ද වේ. මේ ඉහත කී තැන්පතුවේ මූල ධනය වෙනස් නොකොට පොළිය ගෙන බත් සදහා ද අතුරුපස කෑමට ගන්නා ආහාර මී කිරි, මී පැණි, කැවිලි, තල, දුන් තෙල්, ලුණු, පළා වර්ග සහ කහ සඳහා ද විහාරස්ථානයේ භෝජන ශාලාවේ ආහාර පිසින කටයුතු ගෙවීම සඳහා ද දිය යුතු ය. මෙකී තාක් වස්තුව එහි පොළියෙන් ගෙන පැමිණෙන පැමිණෙන වස්කාලයක් තුළ නිකිණි මස ශුක්ල පක්‍ෂයෙහි දොළොස් වන දිනයෙ හි අරියවංශ ප‍්‍රතිපදාව කරන මහා භික්‍ෂු සංඝයාට නියම කොට යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලදි.

විමර්ශනය

ක‍්‍රිස්තු වර්ෂ සිව්වන සියවසේ ලක්දිව පැවති සමාජ තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා බෙහෙවින් ඉවහල් වන මෙම ලේඛනයෙන් පහත කරුණු අනාවරණය කරගත හැකි ය.

  • දේශපාලනික තොරතුරු
  • ආර්ථික තොරතුරු
  • ආගමික තොරතුරු
  • සාමාජික තොරතුරු

දේශපාලනික තොරතුරු

දේශපාලනික වශයෙන් තොරතුරු අධ්‍යයනය කිරීමෙ දී ලංකා ඉතිහාසයේ වාර්තා වී ඇති ප‍්‍රබල රාජ්‍ය පාලකයන් දෙදෙනෙකු පිළිබදව මෙහි සඳහන් ය. ඔවුන් නම් මහසෙන් මහ රජු සහ කිත්සිරි මේඝ යන පාලකයින්ය. පිය පුතු සබදතාවක් ඇති මෙම රජවරුන් දෙදෙනා පිළිබඳ ව සෙල්ලිපියේ සඳහන් කොට ඇත්තේ, පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ යනුවෙනි.

පුවිය මහසෙන මහරජ

මෙම සෙල්ලිපිය පිහිටවනු ලබන්නේ කිත්සිරිමේඝ රාජ්‍ය සමයේ වුව ද එම රජු ගේ පියා වූ මහසෙන් (ක‍්‍රි.ව. 274-301) රජු පිළිබඳ ව සඳහන් කරනු යේ කිත්සිරි මෙවන් රජුට ඇති රාජ්‍ය උරුමය පිළිබඳ ව දැක්වීමට මෙන්ම ජනතා ප‍්‍රසාදය ඇතිකර ගැනීමට විය යුතු ය. මහාවංශයට අනුව මහසෙන් රජු ගෝඨාභය (ක‍්‍රි.ව. 249-262) රජු ගේ පුත‍්‍රයෙකි. මහසෙන් රජතුමා මහා විහාරය සමග උරණව එම විහාරයට දැඩි හානි සිදුකළ බව මහාවංශයේ  සදහන් ය (මහාවංශය: 37. 178). මෙම ලිපියේ මහසෙන මහරජ යන සංඥා නාමයට ඉදිරියෙන් ඇති පුවිය යන පදයෙන් පෘතුවීශ්වර හෝ පෙර සිටී යන අදහස අර්ථවත් කරන බව උගතුන්ගේ මතය යි (අමරවංශ හිමි, 1969:140).

සිරිමෙකවණ අබමහරජහ

සෙල්ලිපියේ සඳහන් තොරතුරු වලට අනුව ලිපියට අදාල කාල පරිච්ෙඡ්දය තුළ පාලකයා වන්නේ කිත්සිරි මෙවන් මහරජ තුමා ය. (ක‍්‍රි.ව. 301-328) මහාවංශයට අනුව තම පියාගෙන් පසු රාජ්‍යත්වයට පත්වන ඔහුගේ රාජ්‍ය කාලය ප‍්‍රධාන වශයෙන් කැප කරන ලද්දේ සංඝමිත්ත භික්‍ෂුවගේ සහ සෝණ අමාත්‍යයාගේ කූට උපදේශ අනුව මහා විහාරයත් ඊට අයත් ආයතනයනුත් විනාශ කළ තම පියාණන් ගේ හෙවත් මහසෙන් රජුගෙන් සාසනයට සිදු වූ ව්‍යසනයන් සමනය කිරීමට බව පෙනී යයි. එසේම සිරි මේඝවණ්ණ රජ තෙමේ තම සම කාලීනයෙකු වූ සමුද්‍රගුප්ත නැමැති ශ්‍රේෂ්ඨ ඉන්දියානු අධිරාජ්‍යයා සමග මිත‍්‍ර සම්බන්ධතා පැවැත් වූ බව සඳහන් වේ. මේ පිළිබඳව සමුද්‍රගුප්ත රජතුමාගේ අලහබාද් ටැම් ලිපියෙහි මෙන්ම වංහුවේන්  සුවේ විසින් ලියනලද හිංචෝවන් නැමති චීන ග‍්‍රන්ථයෙහි ද සදහන් වේ. සිරි මේඝවණ්ණ රජුගේ රජ්‍ය සමය ඉතා හොදින් සිහිපත් කරවන සිද්ධිය නම් පසු කාලීන සිංහල රජවරුන්ගේ ඉෂ්ඨ දේවතාවා බවට පැමිණි දන්ත ධාතුන්වහන්සේ මෙහි වැඩම කරවනු ලැබීම ය. මේ රජුගේ නව වැනි රාජ්‍ය වර්ෂයේ දී කාලිංග රජුගේ දූ කුමරිය බැමිණි වෙසින් දන්තධාතුව මෙහි වැඩම වූ බවත් එය එබඳු පූජනීය වස්තුවලට සුදුසු ගෞරවයෙන් යුක්තව පිළිගන්නා ලද බවත් සඳහන් වේ (ජයවර්ධන 1964:279).

අමෙති පහෙජ සිවය හ පුත දෙවයහ

මෙහි සිවගේ පුත‍්‍ර දේව නැමැත්තෙකු ගැන කියැවෙයි. ඇත්ත වශයෙන්ම මෙම සෙල්ලිපියේ කතුවරයා වන්නේ දේව නැමැත්තා ය. ඔහු විසින් කරන ලද පරිත්‍යාග සම්බන්ද තොරතුරු මෙම ලිපියේ සඳහන් ය. ඉහත සදහනට අනුව පැහැදිලි ලෙස පෙනෙන්නේ සිවගේ පුත‍්‍රයා දේව වන බවයි. මෙම සිව නැමැත්තා අමාත්‍යය මණ්ඩලයට අයත් අයෙකු බව ‘අමෙති පහෙජ’ යන යෙදුමෙන් පැහැදි වේ. පරණවිතාන  සඳහන් කරන පරිදි පහෙජ යන වචනය සංස්කෘත ‘පර්ෂද’ හා පාලි ‘පාරිසජ්ජ’ යන වචනයෙන් සිංහලයට පහෙජ යනුවෙන් එන්නට ඇති බව ය (Paranavitana 1933:182).

ආර්ථික තොරතුරු

මෙම ශිලාලේඛනයෙන් ක‍්‍රිස්තු වර්ෂ සිව්වන සියවස වනවිට ලංකාවේ ක‍්‍රීයාත්මක වෙමින් පැවැති ආර්ථීක කටයුතු පිළිබද තොරතුරු විශාල ප‍්‍රමාණයක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. තත්කාලීන සමාජයේ ප‍්‍රධාන ආර්ථික ක‍්‍රම දෙකක් ක‍්‍රීයාත්මකව  තිබූ බව පෙනීය යි. එ් 1. කෘෂි ආර්ථිකය හා 2. වෙළද ආර්ථිකය වශෙයනි.

1. කෘෂි ආර්ථිකය

ක‍්‍රීස්තු වර්ෂ සිව්වන සියවස වන විට වංශකථා සාධක වලට අනුව මෙන්ම සෙල්ලිපි සාධක වලට අනුව ද ලංකාවේ දියුණු කෘෂි කාර්මික ජීවන රටාවක් පැවැති බව පෙනීය යි. එහෙත් කෘෂි කර්මාන්තය පිළිබඳ ව වංශකථාවල සඳහන් නොවන අතුරු තොරතුරු විශාල ප‍්‍රමාණයක් මෙම ලිපියෙන් අනාවරණය කරගත හැකි වේ. විශේෂයෙන් වාපි ජල කර්මාන්ත රටාවක් ක‍්‍රීයාත්මක වූ රජරට කලාපයේ කන්න තුනක් වගාකළ බව මෙම ලිපියෙන් පැහැදිළිව වේ. පරණවිතාන මහතා හඳුන්වා දෙන පරිදි පිටදඩහස, අකලහස හා මදෙහස යනුවෙන් සෙල්ලිපියේ සඳහන් වන්නේ මහ කන්නය, යලකන්නය හා මැද කන්නය පිළිබඳව යි. මේ අනුව වැව් ජලයෙන් වසරකට කුඹුරු අස්වැන්න තුන්වරක් ගත් බව පැහැදිළි වේ (Paranavitana 1933:185). මෙයින් පැහැදිළි වන්නේ මෙම සෙල්ලිපිය පිහිටුවන සමය වන විට උතුරු නැගෙනහිර පලාතේ සංවිධානාත්මක වැව් පද්ධතියක් මෙන් ම එ් වායෙන් ජලය බෙදා හරින වාරි පද්ධතියක් ද  ක‍්‍රමානුකූලව ක‍්‍රියාත්මකව පැවති බවයි. විශේෂයෙන් ම මෙහි දී තම පියා වන මහසෙන් රජතුමාගේ වාරි තාක්‍ෂණික ක‍්‍රියාවළියේ සාර්ථකත්ත්වය සමග එහි ප‍්‍රතිඵල මෙම යුගයේ දී කෘෂි ආර්ථිකය මැනවින් පවත්වා ගැනීමට හේතුවන්නට ඇතිබව නිගමනය කළ හැකි ය. මහසෙන් රජු විසින් කළ වැව් හා ඇළ මාර්ග පිළිබද දීර්ඝ විස්තරයක් මහාවංශයේ සදහන් වේ (මහාවංශය 1967:36.47-50). පසු කාලීන ජන සමාජය තුළ මහසෙන් ‘මින්නේරි දෙවියන්’ වශයෙන් හැඳින්වීමට පුරුදුව ඇත්තේ ද සුභික්‍ෂය සඳහා කළ කාර්යයන් නිසා විය යුතු ය.

මීට අමතරව මෙම සෙල්ලිපියෙ හි දී කිරි සහ බුන තෙල් හෙවත් දුන් තෙල් පිළිබඳව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වන්නේ මී ගව සම්පත තත්කාලීන සමාජයේ පැවති බවයි. කුඹුරු අස්වැද්දී මේ හා නෙලීමේ කටයුතුවල දී මී ගවයන්ගෙන් විශාල උපකාරයක් ලැබෙන්නට ඇත. වර්තමානයේ ද ග‍්‍රාමීය ප‍්‍රදේශවල මී ගවයන්ගෙන් කෘෂි කර්මාන්තයට ලැබෙන පිටුබලය අතිමහත්ය. ඊට අමතරව ගවයන් වී ආදී ධාන්‍ය වර්ග ප‍්‍රවාහනය කිරීම සදහා ද යොදා ගන්නට ඇති බව සිතිය හැකි ය. ඒ අනුව ඉහත දැක් වූ වී ගොවිතැන ඍජු ලෙස ම මඩ ගොවිතැනට අයත් වන අතර හේන් ගොවිතැන හා ගෙවතු වගාව පිළිබඳ ව ද මෙම ලිපියෙන් වැදගත් තොරතුරු අනාවරණය වේ. හේන් ගොවිතැන සම්බන්දයෙන් අවධානය යොමු කිරීමේ දී ප‍්‍රධාන භෝග වශයෙන් උදු, මුං, තල ආදී ධාන්‍ය වර්ග වගාකොට ඇති අතර සම කාලීන සමාජයේ ගෙවතු වගාවන් ලෙස බුලත්, කහ, පළා වර්ග ආදී භෝග වගාවන් වගා කොට ඇති බව ද සනාථ වේ.

මෙ අනුව  ලිපියෙහි සදහන් කෘෂි ආර්ථිකය හා සම්බන්ද තොරතුරු වලට අනුව එකල ලක්දිව සිව්වන සියවසේ රජරට පසෙහි සාරවත් බව, වර්ෂාපතනය, ජල සම්පාදන ක‍්‍රම සහ පැරණි සිංහල ගොවීන්ගේ ක‍්‍රියා කෞශල්‍යය පිළිබඳ ව අභේද්‍ය වාර්තාවක් වශයෙන් ද ගිනිය හැකි ය.

වෙළෙඳ ආර්ථිකය

සම කාලීන වෙනත් සෙල්ලිපි මගින් නොල ද හැකි ප‍්‍රමාණයේ වෙළෙඳ ආර්ථිකය සම්බන්ද තොරතුරු ප‍්‍රමාණයක් මෙම ලිපියෙන් අනාවරණය කර ගත හැකි වේ. මෙහි කියැවෙන කළහුමනක නියමතන යන ආයතනය ඉතාම වැදගත් ය. පරණවිතාන මහතා සඳහන් කරන්නේ පාලි භාෂාවේ නිගම යන්නෙන් සිංහලයට “නියම” යන පදය බිඳී ඇති බවත් ඉන් වෙළද ගම යන්න අර්ථවත් වන අතර තන යන පදය සංස්කෘත “ස්ථන” යන්නෙන් බිදගත් “ආස්ථාන” හෙවත් සභාව යන්න අර්ථ දක්වන බවයි. ඒ අනුව වෙළඳ ගම්සභාව යන්න මීට දිය හැකි සුදුසු ම වචනය බව වැඩිදුරටත් කියා සිටී (Paranavitana 1933:181). පරණවිතාන හඳුනාගන්නා මෙම වෙළඳ ගම්සභාව වර්තමාන බැංකුවක් මෙන් ක‍්‍රියා කරණ ලද්දක් බව පෙනීය යි. සෙල්ලිපියෙහි කියැවෙන මෙම ආයතනයෙ නම කළහුමනක නම් වේ. කළහුමනක යන්න ග‍්‍රාමනාමයක් සමග බැදුන එකක් හෝ “කාලසුමන” යන නාමය සමග බැදුන එකක් විය හැකි ය. අතීතයේ තිබූ මෙ බදු ආයතන කිහිපයක්ම පිළිබඳව පෙරුමියන්කුලම, ලබු ඇට බැදිගම, බඳගිරිය ආදී සෙල්ලිපි වලින් පැහැදිළි වේ. පෙරුමියන්කුලම ලිපියට අනුව “තිරගම”හා “අමර”යන බැංකු දෙකක් පිලිබඳ ව කරුනු කියැ වේ (අමරවංශ හිමි 1969:118). මීට අමතරව ලබු ඇට බැදිගම සෙල්ලිපියේ නගරයේ නැගෙනහිර දිසාවෙහි තිබූ “මහකබක” නම් වෙළඳ  මධ්‍යස්ථානයක් හෙවත් බැංකුවක් ගැන කිය වේ. එම බැංකුවේ කහවනු සියයක් තැන්පත් කොට එහි පොළියෙන් අරියවංශ වෘත්තිය පැවැත්වීමට කටයුතු කළ බව සදහන් ය (විමලකිත්ති හිමි 1957;1961).

තෝනිගල සෙල්ලිපියට අනුව එහි සදහන් වන වෙළඳ සභාවේ නැතහොත් බැංකුවෙහි ප‍්‍රාග් ධනය ලෙස තැන්පත් කොට ඇත්තේ වී, උදු සහ මුං යන ධාන්‍ය වර්ගයන් ය. එහි දී වී අමුණු පනහක් ද උදු අමුණු හයක් ද මුං අමුණු දහයක් ද වශයෙනි. මෙම තැන්පතු ධාන්‍ය වලින් කැමති ප‍්‍රමාණයක්  ඕනෑම අයෙකුට පරිහරණය සඳහා ලබා ගැනීමට හැකියාවක් තිබූ අතර ඔවුන් විසින් ආයතනයට සම්මත පොළිය ධන්‍ය වලින්ම ගෙවීමට නියමව තිබුණි. සෙල්ලිපියේ කියවෙන අන්දමට වී වලින් යල, මහ සහ මැද යන කන්න තුන සදහාම ස්ථීර තැන්පතුවෙන් ලැබෙන පොළිය අමුණු විසි පහක් බව පචවිසි අමණක වී ඉච යනුවෙන් සඳහන් කර තිබීමෙන් පෙනේ. මෙ අනුව වී ගොවිතැන සඳහා තැන්පත් කළ ප‍්‍රාග්ධනය වූ අමුණු පනහට පොළිය වශයෙන් අමුණු විසි පහක් ලැබෙන්නේ නම් වාර්ෂික පොළිය 50%කි. ගොඩ ගොවිතැනට අදාල උදු, මුං ආදිය තැන්පත් කිරීමේ දී ලැබෙන වාර්ෂික පොළී අනුපාතය වන්නේ 25%කි. එනම් තැන්පත් කළ ධාන්‍ය වලින් 1/4කි. මේ අනුව තත්කාලීන ආර්ථික කටයුතු වල දී හුවමාරු මාධ්‍යය වශයෙන් මුදල් පමනක් භාවිත නොවූ බවට මෙය කදිම නිදසුනකි. මන්දයත් පොළී ප‍්‍රමාණයන් ගෙවා ඇත්තේ තැන්පත් කළ ධාන්‍ය වර්ග වලින්වීමයි.

ඊට අමතරව මෙම බැංකුවේ ගනු දෙනුවල දී ක‍්‍රියාත්මක වූ  කිරුම්මිණුම් ක‍්‍රම කිහිපයක් ගැන ද තෝනිගල ලිපියෙහි කියැවේ. ඒවා හකඩ, අමණක, පෙකඩ ආදී වශයෙන් සඳහන්ය. මෙහි දී හකඩ යන්නෙන් දක්වන්නේ කරත්තය යි. කරත්තයක් යනු අමුණු විස්සක වී ප‍්‍රමාණය කි. නැතහොත් පෑලකින් 1/4  කි.

පෙකඩ 4 අමුණු 1 යි
පෑල  
අමුණු 20  හකඩ   1 යි
  යාල්

මේ අනුව තත්කාලීන සමාජයේ ක‍්‍රියාත්මක බැංකු ක‍්‍රම පිළිබඳව මෙන් ම කිරුම්මිණුම් පිළිබඳව ද තෝනිගල ලිපිය හරහා කරුණු පෙන්වා දෙන බව පැහැදිළි ය. ලිපියට අනුව මෙම බැංකුව බංකොලොත් නො වී පවත්වා ගෙන යා යුතු බව ද මෙහි සදහන් අවිය කිණියෙහි (අඩුවීමක් හෝ හීනවීමක්) යන යෙදුමෙන් අවධානය කර තිබීම විශේෂත්වයක් ලෙස ගිනිය හැකි ය. මේ අනුව තෝනිගල සෙල්ලිපිය හරහා පෙන්වාදෙනු ලබන්නේ ක‍්‍රිස්තු වර්ෂ සිව්වන සියවස වනවිට වෙළද ආර්ථිකය හා සම්බන්ද බැංකු පිළිබඳව අවබෝධයක් මෙන්ම සැලසුම් පිළිබඳව ද සමාජය දැනුවත්ව සිටී බව යි.

ආගමික තොරතුරු

තෝනිගල සෙල්ලිපිය තුළ ඇතුලත්ව ඇති කරුනු අතර තත්කාලීන සමාජයේ ආගමික විවරණයක් ඉදිරිපත් කිරීමක් ගැන ද කිය වේ.  ලිිපියෙ හි අරමුණ වි ඇත්තේ ද අරියවංශ උත්සවය නොකඩවා දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑම සදහා කටයුතු සම්පාදනය කිරීමයි. එය අරියවස කරන මහබිකු සඟනට නියතකොටු යන යෙදුමෙන් පැහැදිලි වේ. මෙම යුගයේ ක‍්‍රියාත්මක ප‍්‍රධාන ආගමික උත්සවයක් ලෙස ගිනිය හැකි මෙම උත්සවය සිදු කලේ කෙසේ ද යන්න පිළිබඳ ව පැහැදිලි නැත. එහෙත් වංශ කථාවන් හි මෙන් ම අභිලේඛන වල මේ පිළිබඳ ව සඳහන් වි තිබිම නිසාවෙන් පැරණි සමාජය තුළ ක‍්‍රියාත්මක උසස් ආගමික උත්සවයක් බව පෙන්වා දිය හැකි ය. එබදු ආගමික කටයුතු සඳහා මෙබදු පුදපුජා කිරිමට සහ එය මතු අනාගතයෙහි ද පැවැත්වී ම සඳහා සෙල්ලිපි පවා පිහිටුවා තිබීමෙන් එකල ගිහි පැවිදි සමාජයේ ආගමික තත්ත්වයත් එමෙන් ම භක්තියත් මතුවී පෙන්නුම් කරන බව කීම යුක්ති සහගත ය. මඩකලපු දිස්ත‍්‍රික්කයේ නෙලුම්පොකුණින් හමු වු සෙල්ලිපියක ද (Paranavitana 2001:150) එසේම අංගමුවෙන් හමු වු ලිපියක ද (Paranavitana 2001:243) අරිය වංශ පුජාව ගැන කියැවේ.

සාමාජික තොරතුරු

තෝනිගල ශිලා ලිපියෙන් තත්කාලීන සමාජ ජනජීවිතය හා සම්බන්ද තොරතුරු බොහෝමයක් ද අනාවරණය වේ. විශේෂයෙන් පැරණි සමාජයේ වැඩසිටී භික්‍ෂූන් වහන්සේලා පරිභෝජනය කළ ආහාර පාන වර්ග පිළිබඳව තතු තෝනිගල සෙල්ලිපිය සතුව පවතී. මෙහි දී ප‍්‍රධාන ආහාර වශයෙන් සහල්, උදු, මුං ආදී ධාන්‍ය වර්ග මෙන්ම දී කිිරි, මී පැණි, තල, දුන් තෙල්, ලූණු, පළා වර්ග, බුලත් ආදි සෙසු ආහාර වර්ග පිළිබඳව තොරතුරු සඳහන් ය. මේ අනුව සෑම ප‍්‍රදේශයකම පාහේ ගිතෙල්, මී පැණි, කිරි හා පළාවර්ග ආදිය මෙන්ම ඒවායෙන් සකසා ගන්නා ලද ආහාර වර්ග සුලභව පරිභෝජනය වන්නට ඇත. මේ හැර තත්කාලීන සමාජ ජනතාව කාලය මැණිමේ දි විශ්ෂයෙන් මාස ගණනය කිරීමේ දි චන්ද්‍ර මාස ක‍්‍රමය භාවිතා කර ඇති බව අතොවසහි නිකමනිය චද පුණමස දොළස පකදිවස යන යෙදුමෙන් පැහැදිලි වේ.

තත්කාලීන සමාජය කෘෂිකර්මාන්තය මත පදනම් වු දියුනු සමාජ තත්ත්වයක් මෙන්ම පුද්ගල ජන ජීවිතයක් නිර්මාණය වි තිබු බව ද ලිපියෙහි සඳහන් සාධක අනුසාරයෙන් නිගමණය කළ හැකි ය. කෘෂිකර්මාන්තය, වෙළඳ ආර්ථිකය මත පදනම් වු රාමුවක් තුළ තත් කාලීන සමාජයේ භෞතික සම්පත් සාදනය කර ගත්තා සේම අධ්‍යාත්මික වශයෙන් යම්කිසි දියුණුවක් ලබාගෙන ඇති බව ද වක‍්‍රව කරුණු ඉදිරිපත් කොට ඇත. ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීම හරහා ලෞකික ජීවිතය සාර්ථක කර ගන්තා සේම අධ්‍යාත්මික වශයෙන් ද මෙකල දියුණුවක් ලබා ඇති බව පෙනේ. රටේ පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සියලූම සමාජ ස්ථරයන් නියෝජනය වන පරිදි ආගමික ක‍්‍රියාවන් හි නිරත වු බවට අරියවංශ දේශනාව කෙරෙහි දක්වා ඇති සැලකිල්ල ප‍්‍රමාණවත් ය. ඒ අනුව තත්කාලීන සමාජ ජන ජීවිතයට අදාල සිරිත්විරිත්, චාරිත‍්‍රවාරිත‍්‍ර, ගතිපැවතුම් ආදිය ආගමික ප‍්‍රබෝධය හරහා සිදුවන්නට ඇති බව පෙනේ.

ආශ‍්‍රීත ග‍්‍රන්ථ නාමාවලිය

  • අමරවංශ හිමි, කොත්මලේ (1969), ලක්දිව සෙල්ලිපි, ඇම්. ඩි. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • ජයවර්ධන, ඩබ්ලිව්.ඒ. (1964), ‘‘මහසේන රජුට පසුකාලයේ රජවරු’’ ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය, I වන කාන්ඩය, II වන භාගය , නිකලස් ආටිගල ඇතුළු පිරිස, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල මුද්‍රණාලය.
  • Paranavitana, S. (1933), Epigraphia Zeylanica, vol. iii Archaeologeal Survey of Ceylon, oxford university, London.
  • ධම්මානන්ද හිමි, මකුරුප්පේ (2004), සිංහල ශිලා ලිපි මාලා, සමයවර්ධන පොත්හල, කොළඹ.
  • මහාවංශය (1912), බටුවන් තුඩාවේ පඩිතුමා සහ හික්කඩුවේ සුමංගල හිමි, ජාතික කෞතුකාගාර දෙපාර්මේතන්තුව, කොළඹ.
  • මුදියන්සේ, නන්දසේන (2000), සිංහල ශිලාලේඛන සංග‍්‍රහය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • විමලකිත්ති හිමි, මැදඋයන්ගොඩ (1954), ශිලාලේඛන සංග‍්‍රහය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
--------------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017 සැප්තැම්බර් 15 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
--------------------------------------------------------------------------------------------------------------

archaeology.lk තවත් සද්-කාර්යයක් : වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා උපාධිධාරියා සඳහා වූ ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම

පසුගිය වසර අටක කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම හා තොරතුරු සිංහල හා ඉංග‍්‍රීසි යන දෙ බසින් විශ්වව්‍යාප්ත ගත කරමින් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කළ ලංකාවේ ප‍්‍රමුඛතම වෙබ් සමූහය වන ජාතික හා ජාත්‍යන්තර සම්මාණයෙන් පුද ලද archaeology.lk කණ්ඩායම තම අට වැනි සත්වත්සරය සමරමින් තවත් සද්-කාර්යයක් සඳහා මුළ පුරන ලදී.

ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව උදෙසා විශිෂ්ඨ සම්ප‍්‍රදානයක් දැක් වූ අාචාර්ය පෝල් එඩ්වවර්ඞ් පීරිස් දැරණියගල හා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල යන පිය-පුතු විද්වතුන් දෙපලගෙන් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්තතිය හා ප‍්‍රගමනය උදෙසා සිදු වූ අමරණීය සේවය ස්මරණය කිරීම හා ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ දක්‍ෂතම විද්‍යාර්ථියාගේ සාමාර්ථ්‍ය ඇඟයීම සඳහා රන්පදක්කමක් පිරිනැමීමයි.

ඒ අනුව, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා විද්‍යාර්ථියාගේ දක්‍ෂතාව අගයමින් 2017 වසරේ සිට ඉදිරි සෑම වසරක දී ම එහි උපාධි ප‍්‍රදානෝත්සවයේ දී රන් පදක්කමක් වාර්ෂිකව පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇත.

ඒ අනුව 2017 මැයි 25 වැනි දින මිහින්තලේ, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානොත්සව ශාලාවේ දී පවත්වන ලද උපාධි ප‍්‍රදානෝත්සවයේ දී මෙම වසරේ දක්‍ෂතම ශිෂ්‍යාට හිමි ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම අනුෂා ජයසූරිය මෙනවිය විසින් හිමිකර ගැනීමට සමත් විය.

අනුෂා ජයසූරිය මෙනවියට archaeology.lk කණ්ඩායමේ උණුසුම් සුභ පැතුම් පළ කරමු.

අනුෂා ජයසූරිය මෙනවිය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා අතින් වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා උපාධිධාරියා සඳහා වූ ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම හා සහතික පත ලබාගත් අවස්ථාව

එම අවස්ථා දැක්වෙන විඩීයෝව පහතින් දක්වා ඇත.

අනුෂා ජයසූරිය

මහනුවර, තළාතුඔය, මොරගොල්ල ග‍්‍රාමයේ ටී.එච්.ජී. නිමල් ජයසූරිය හා එච්.කේ.ජී. අනුලා චන්ද්‍රලතා යන දෙපලගේ දියණිය වශයෙන් උපත ලැබූ ටී.එච්.ජී.ඒ.කේ. ජයසූරිය මහනුවර හපුතලේ මහ විද්‍යාලය හා මහනුවර ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත්ව 2011 වර්ෂයේ ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ විය. එහි සාමාජීයවිද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ විශේෂ උපාධිය සාර්ථකව හදාරා 2017 වර්ෂයේ පළමු පෙළ පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට සමත් විය. 2017 වර්ෂය සඳහා දක්ෂතම පුරාවිද්‍යා විද්‍යාර්ථියාට හිමි, ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා ආචාර්ය සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම හා සහතික පත‍්‍රය ලබා ගැනීමට සමත් විය. අනුතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුහුණුවන පර්යේෂණ නිලධාරිණියක ලෙස සේවය කරන ලද අනුෂා මේවන විට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ කතිකාචාර්යවරියක (තාවකාලික) ලෙස ද කටයුතු කරනු ලබයි.

ප‍්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හි පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

ප‍්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ

පොළොන්නරුව ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව.

ප‍්‍රවේශය

ප‍්‍රියන්ත කුමාර මාරසිංහ

පොළොන්නරුව කියූ පමණින් ම අප බොහෝ දෙනෙකු දන්නේ චූලවංශයේ වීරයන් වූ මහා පරාක‍්‍රමබාහු රජුගේ මහාවිජයබාහු රජුගේ යුගයේ බිහි වූ පොළොන්නරුවේ සමෘද්ධිමත් යුගය ගැන පමණි. කොටින්ම කියතොත් පොළොන්නරුව රාජධානියක්ව පැවැති 12 වැනි සියවස දක්වා පමණි. නමුත් පොළොන්නරුව යනු, ගල් අවි භාවිත කරමින් දඩයමින් හා ආහාර එකතු කිරීමෙන් ජීවත්වූ ගල් යුගයේ මිනිසුන් මෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ විවිධ තාක්‍ෂණික පෙරළි කළ කෘෂි කාර්මික ජනතාවක් විසින් පරිහරණය කළ භූමියක් වග බොහෝ දෙනෙකු නොදනී. ඒ අනුව පොළොන්නරුව යනු හුදෙකලාව ම නිර්මාණය වූ රාජධානියක් නොව කාලාන්තරයක් තිස්සේ ජනාවාසකරණයට නතු වූ ප‍්‍රදේශයකි. ඓතිහාසික යුගයෙන් ඔබ්බට වසර දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක උරුමක්කාරයන් වීමේ භාග්‍යය අපට ද හිමි ව ඇත. 2001 වසරේ සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණ සහ කැනීම් මෙන්ම ම විසින් සිදුකළ ස්වාධීන පර්යේෂණ ඔස්සේ ඓතිහාසික සඳහන්වලින් ඔබ්බට ගොස් පුරාවිද්‍යාත්මක සාධක මත තහවුරු කිරීමට දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

කලාපීය පාරිසරික පද්ධතිය හා භූ විෂමතා ලක්‍ෂණ

කලාපීය පාරිසරික පද්ධතිය හා භූ විෂමතා ලක්‍ෂණ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන්ගේ ආහාර පරිභෝජන රටාව හා ජනාවාස ව්‍යාප්තිය සඳහා සක‍්‍රීය දායකත්වයක් සැපයූ බව ඒ පිළිබඳ නිරීක්‍ෂයේ දී පැහැදිලි වූ කාරණාවකි. මුහුදු මට්ටමේ සිට අඩි 500ක් දක්වා පැතිර ඇති පහතරට වියළි කලාපයට අයත් භූමියෙහි පොළොන්නරුව දිස්ත‍්‍රීක්කය පිහිටා ඇත. වියලි කලාපය පුරාම දක්නට ලැබෙන වනාන්තර විශේෂය වූ අර්ධ සදාහරිත වනාන්තර ලක්‍ෂණ පොළොන්නරු කලාපයේ බහුල වශයෙන් ම දැකිය හැකි ය. අර්ධ සදාහරිත වනාන්තර යන්නෙන් අදහස් කරනුයේ වර්ෂයේ එක් කාලයක එනම් දැඩි නියඟ පවත්නා කාලය තුළ දී වනාන්තරයේ ඉහළ ස්ථරයේ ශාකයන්හි පත‍්‍ර පතනය වන අතර පළ ස්ථරයන්හි පවත්නා වූ ශාකයන්හි පත‍්‍ර පතනය වීමකින් තොරව පවත්නා වූ වනාන්තර යන්නයි. මෙම වනාන්තර දිවයිනේ වියළි කලාපය පුරාම පාහේ දක්නට ලැබේ. මෙහි විශාල ප‍්‍රමාණයේ ගස්වලින් උඩු වියන් ස්ථරයත් මධ්‍යම ප‍්‍රමාණයේ ශාක පද්ධතියකින් එහි මධ්‍ය ස්තරයත් කුඩා ප‍්‍රමාණයේ ශාකවලින් යටි රෝපණ ස්ථරයත් සැකසී තිබේ.

වැඩිදුර පරීක්‍ෂණයට ලක් කළහොත් මෙහි වාසය කළ මානවයන්ගේ ආහාර පරිභෝජන රටාව හා ජනාවාස ව්‍යාප්තිය කෙරෙහි පොළොන්නරු ප‍්‍රදේශයේ දැකිය හැකි විශේෂ පරිසර පද්ධතිය ඉවහල් වූ බවට සිතිය හැකි ය. සුදුකන්ද වැටියෙන් නැගෙනහිරට පැතිරෙන පුළුල් තැනිබිම් හරහා ගලායන මහවැලි ගඟත් අඹන්ගෙඟ් පහළ කොටසත් ඒවා ආශ‍්‍රය කොටගත් ගංඟා අපශාක, ගංදඟර, දුනුවිල් සහ පොළොන්නරුවේ ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය වූ මහවැලි ගංඟාවෙහි දෙපස පිහිටි තෙත්බිම් පරිසර පද්ධතියට අයත් විල්ලු පරිසර පද්ධතියත් (Villu Eco System) විශේෂ පිහිටීමකි. ඒ වටා පවත්නා විශාල තෘණ භූමි සහිත ප‍්‍රදේශය බොහෝසේ ප‍්‍රයෝජනවත් වන්නට ඇත. මෙම පරිසර කලාපයේ ජීවත්වූ වන සතුන් මෙන්ම විල්ලු නම් වූ නොගැඹුරු ජලාශයන්හි වූ මිරිදිය මත්ස්‍යයන් ආහාර සඳහා පහසුවෙන් එකතුකර ගතහැකි වූ අතර පරිභෝජනයට ප‍්‍රමාණවත් හා සුදුසු ස්වභාවික ජල අවශ්‍යතා ද නොඅඩුව ලබාගතහැකි වන්නට ඇත. ඒ අනුව වියළි කලාපීය අර්ධ සදාහරිත වනාන්තර පද්ධතිය හා තෙත් බිම් පරිසර පද්ධතිය වර්ෂය පුරා ඔවුන්ගේ යැපීම් රාටාව සක‍්‍රිය දායකත්වයක් සැපයූවා සේම ඉතාමත් කෙටි කාල පරාසයක් තුළ වෙනස් දේශගුණික කලාපයන් කෙරෙහි ගමන් කිරීමේ හැකියාව ද හේතුවෙන් ප‍්‍රාග් ඓතිහාසික මානවයන්ගේ සිත් ගත් භූමි භාගයක් වන්නට ඇත.

මීට වසර මිලියන 250කට පමණ පෙර කාලයේ පෘථිවි සන්දර්භයේ සිදු වූ නග්නීකරණ ක‍්‍රියාවලීන්හි ප‍්‍රතිඵලයක් ලෙස අක‍්‍රිය යමහල් සේ මතුවූ ශේෂ කඳු පද්ධතියක් පොළොන්නරුවේ දැකිය හැකි ය. මෙබඳු ශේෂ කඳුගැට අතර මුහුදු මට්ටමේ සිට අඩි 1672ක් ඉහළට නැගෙන දිඹුලාගල කන්ද ප‍්‍රධාන වේ. සෙසු ශේෂ කඳුගැට අතර දේවගල, වෙලුගල (637) ස්මොල් කොයින් (540) සහ සෝමාවතිය අසල පිහිටි එරික්සෝන් ගල ද කැපීපෙනෙන දායකත්වයක් ප‍්‍රාග් මානවයන්ගේ චර්යා රටාව කෙරෙහි ලබාදෙන්නට ඇති බව සිතිය හැකි ය. විශේෂයෙන් දිඹුලාගල නැගෙනහිර බෑවුමෙහි දක්නට ලැබෙන වර්තමාන නාමල් පොකුණ පබ්බතාරාම සංකීර්ණය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පුලතිසි මානවයන්ගේ ක‍්‍රියාකාරකම් බහුලව ගැබ්ව ඇති ස්ථානයකි. ඓතිහාසික යුගයේ දී මේවා භික්‍ෂූන් උදෙසා වාසස්ථාන ලෙස සකස්කොට පූජාකළ බවට ඒවායෙහි දැකිය හැකි පූර්ව බ‍්‍රාහ්මී ශිලාලේඛන සාධක සපයයි. පොළොන්නරුවේ දැකිය හැකි මෙවැනි ස්වාභාවිකව නිර්මාණය වූ ගුහා ආවරණ සහ ස්වභාවික ජල මූලාශ‍්‍රයන් ආශ‍්‍රිතව නොඋස් කඳුගැට උපයෝගී කරගනිමින් වාසය කළ ප‍්‍රාග් මානවයාගේ ක‍්‍රියාකලාපය පිළිබඳ සංස්කෘතික සාධක තැන්පත්වී ඇත.

පොළොන්නරුවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක

ශ‍්‍රී ලංකාවේ දැනට සිදුකර ඇති ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ වැඩි වශයෙන් සිදුකර ඇත්තේ තෙත් කලාපයේ ලෙන් ආශ‍්‍රිතව ය. ඊට සාපේක්‍ෂව අර්ධ ශූෂ්ක කලාපයේ ද ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සුළු වශයෙන් සිදුකර ඇත. චාල්ස් හාර්ට්ලි විසින් වියළි කලාපයේ පොළොන්නරුව හා හබරණ ආදී ස්ථාන කිහිපයක පර්යේෂණ සුළු වශයෙන් සිදු කොට ඇත. පොළොන්නරුව දිස්ත‍්‍රීක්කය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාස වී තිබූ බව මහවැලිගඟ ආශ‍්‍රිතව කන්දකාඩු, ආර්ණකල්ලු සහ ත‍්‍රිකෝණමඩු යන ස්ථානවල භූමිය මතුපිට සංස්කෘතික අවශේෂ අධ්‍යයනය කිරීමෙන් අනාවරණය කරගෙන ඇත (Deraniyagala 1992). එහෙත් මෙම කාලපරිච්ඡේදය පිළිබඳ පැහැදිලි සංස්කෘතික සාධක මෙතෙක් පොළොන්නරුවෙන් සොයාගෙන නොතිබුණි.

2009 වර්ෂයේ සිට ඓතිහාසික යුගයෙන් ඔබ්බට වූ පොළොන්නරුව කලාපයේ මූල ඓතිහාසික හා ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ඇති වූ කුතුහලය හේතුවෙන් සාධක එක්රැස් කිරීමේ නිරත වූයෙමි. ඒ අනුව ස්ථාන කිහිපයක භූමිය මතුපිට සිදුකළ අහඹු ගවේෂණ හා පාෂාණ උද්ගතයන්හි සිදුකෙරෙන ගල්වළවල් ආශ‍්‍රිත ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ කිහිපයක් පරීක්‍ෂාවට ලක් කරන ලදි. එම ස්ථානවලින් සොයාගත් ශිලා මෙවලම් හා නිෂ්පාදිත අමුද්‍රව්‍යය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පොළොන්නරු කලාපයේ සමාජ සංස්කෘතික හා පාරිසරික රටාව අධ්‍යයනය කිරීමෙහි ලා ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධක ලෙස අර්තකථනය කළ හැකි ය. මේ අතරින් මැදිරිගිරිය හමාරියාගලින් හමු වූ ශිලායුධය සහ ආයුද තැනීමෙන් ඉවත දැමූ කහඳ න්‍යෂ්ඨි පොළොන්නරු ප‍්‍රදේශය ජනාවාසවීමේ ආදිතම සන්ධිස්ථානය නියෝජනය කරන වැදගත්ම සාධක වේ.

බලංගොඩ උල් ආයුධ (දිවුලන්කඩවල)
ආයුධ තැනීමෙන් ඉවත දැමූ කහඳ න්‍යෂ්ඨි

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 35 පලුවද්දන ග‍්‍රාමනිලධාරී වසමේ උතුරු කෙළවර හමාරියාගල නම් නොඋස් කඳුගැටයෙන් සොයාගත් මෙය ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් බලංගොඩ සංස්කෘතිය නියෝජනය කරන ශිලා යුධයකි. පිවිසුම් මාර්ගය හිඟුරක්ගොඩ මැදිරිගිරිය මාර්ගයේ දිවුලන්කඩවල මංසන්ධියෙන් හැරී කවුඩුලු වැව ඉස්මත්තෙන් රොටවැව දක්වා වැටී ඇති මාර්ගයේ කි.මී. 2ක් පමණ ගිය පසු මෙම ස්ථානය හමු වේ. උතුරු අක්‍ෂාංෂ 08º06’14.81” N හා නැගෙනහිර දේශාංෂ 80º55’14.00” E අතර නිරපේක්‍ෂ පිහිටීමක් පෙන්නුම් කරන අතර මුහුදු මට්ටමේ සිට උසින් අඩි 276 කි.

මෙම ස්ථානයෙන් සොයාගත් පැරණී මානවයන් භාවිත කළ ශිලායුධය පොළොන්නරු කලාපයේ ජනාවාසවීම පිළිබඳ ඉතිහාසයේ ආදිතම සංධිස්ථානය පිළිබඳව ඇති වටිනා ම සාධකයයි. මෙය අදින් වසර 37,000 දක්වා පැවැති මෙසොලිතික හෙවත් මධ්‍යශිලා යුගයට අයත් වේ. මෙම සාධක අනුව එතරම් ඈත කාලයක දී පොළොන්නරු ප‍්‍රදේශයේ ජනාවාස වී තිබූ බව පැහැදිලිව ම කිව හැකිය. තෙත් කලාපීය මානවයාගේ සුලභ නේවාසික ස්ථාන වූ ලෙන් පරිශ‍්‍රවලට වඩා ස්වභාවයෙන් ම වෙනස් වූ එළිමහන් ස්ථානයන් වාසස්ථාන ලෙස භාවිත කළ බව මෙයින් පැහැදිලි වේ. වර්තමාන වියළි කලාපීය පරිසරයෙහි ආවේණික ලක්‍ෂණයන් වූ ගල්තලා උස් භූමි හා තැනිබිම් ආශි‍්‍රතව වාසස්ථාන හා තාවකාලික ලැගුම් පොළවල් ස්ථානගත වන්නට ඇත. මේවා ආශ‍්‍රයේ කුඩා ගෝත‍්‍ර ලෙස හෝ කණ්ඩායම් ලෙස වර්ධනය වී තිබෙන්නට ඇත.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීන ප‍්‍රාග් ඉතිහාසඥයන්ගේ මතයට අනුව මෙම බලංගොඩ ගල් ආයුධ පීඩන ක‍්‍රමය යොදාගෙන නිර්මාණය කරන ලද මුල්ම ගල් ආයුධ ලෙස පිළිගනු ලැබේ. ලංකාවෙන් හමුවන ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් අතරින් ජ්‍යාමිතික නොවන විශිෂ්ට ගල් ආයුධ වර්ගය නම් බලංගොඩ උල් ආයුධයි. ප‍්‍රමාණයෙන් සෙන්ටි මීටර් 3 ක් පමණ කුඩා ය. ඒවායේ සෑම පැත්තක් ම ඉතා සියුම් පතුරු ඉවත්කිරීමෙන් නැවත හැඩගස්වා ඇත. මෙම ගල් ආයුධය පීඩන ශිලාමෙවලම් තාක්‍ෂණය මඟින් මනාව හැඩගන්වා ඇත. මේවා ශී‍්‍ර ලංකාවේ මධ්‍ය ශිලා සන්දර්භවන කුරුවිට බටදොඹලෙන දැරණියගල විසින් සිදුකළ බුන්දල, පතිරාජවෙල හා ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලස්ස ආදී ස්ථානවලින් සීමිත ප‍්‍රමාණයක් ලැබී ඇත. ආචාර්ය දැරණියගලගේ අදහස වූයේ ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් සොයාගෙන ඇත්තේ මෙම ශිලායුධයත් සමඟ ආයුධ 4ක් හෝ 5ක් බවයි. වියළි කලාපයේ පොළොන්නරුව කවුඩුලු වැව ආසන්නයේ හමාරියාගල ස්ථානයෙන් හමුවීම වැදගත් බව ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයාගත් ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයන් වූ ආචාර්ය සිරාන් දැරණියගල හා ආචාර්ය නිමල් පෙරේරාගේ අදහස විය.

බටදොඹලෙන කැනීමෙන් ලැබුණු මීට සමාන උල් අයුධ කාබන් 14 කාලනීර්ණ ක‍්‍රමය අනුව වසර 32,000 – 37,000ට පමණ පෙර කාලයකට ද බුන්දල කැනීමෙන් හමු වූ උල් ආයුධය තාපසම්දීප්තතා කාලනීර්ණ ක‍්‍රමය අනුව වසර 28,000 දක්වා පෙර කාලයට ද අයත් ය. පොළොන්නරුව හමාරියාගලින් සොයාගත් මෙම ශිලායුධය, ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් කැනීම් කරන ලද බටදොඹලෙන අදින් වසර 37,000කට කාලනීර්ණය කර ඇති 7 සී පස් තට්ටුවෙන් ලැබී ඇති ශිලායුධයේ ආකෘතියට හාත්පසින් ම සමාන ය (Perera 2010). ඒ අනුව පොළොන්නරුවේ මෙම ශිලායුධය හමුවීම තුළ පොළොන්නරු ඉතිහාසය අදින් වසර 37,000ක් දක්වා අතීතයකට දිවයන බවට ඇති හොඳම පුරාවිද්‍යාත්මක සාධකයයි. බෙල්ලන්බැඳිපැලස්ස, බණ්ඩාරවෙල පල්ලියවත්ත, අනුරාධපුර ඇතුළුනුවර, මන්නාරම මාතොට, බෙලිහුල්ඔය ආදී එළිමහන් ජනාවාසවලින් හමු වී ඇති ප‍්‍රාග් ඓතිහාසික සාධක හා පොළොන්නරුවේ හමාරියාගල එළිමහන් ජනාවාස පරිශ‍්‍රයෙන් හමු වූ මෙම ශිලායුධය කාලනීර්ණය කිරීමෙන් ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසයේ හිඩැසක් සම්පූර්ණ කරගත හැකිවනු ඇත. ඒ අනුව මෙතෙක් සොයාගෙන තිබූ තෙත් කලාපීය සාධකවලට අමතරව වියලි කලාපීය පරිසර පද්ධතියට ද බලංගොඩ මානවයා අනුගත වූවකු බව පැහැදිලි වේ.

මෙම සොයාගැනීම මත ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පොළොන්නරු කලාපයේ ජීවත්වූ මානවයෙකු හෝ සංක‍්‍රමණික මානවයෙකු පිළිබඳව කිසියම් අදහසක් ඇතිකර ගතහැකිව තිබේ. මේ සම්බන්ධයෙන් ඉස්මතුවන ගැටලූ කිහිපයක් ඔස්සේ ගැඹුරින් අධ්‍යයනයට මංපෙත් විවර වී ඇත. දේශගුණික හා කාලගුණික බලපෑම මත යෝග්‍ය හා කාලෝචිත පරිසර කලාප තෝරා ගැනීම සඳහා රටපුරා සංචාරයේ යෙදුණේ ද? රටපුරා කළ සංචරණයේ ප‍්‍රතිඵලයක් ලෙස එම සංස්කෘතියට අයත් ශිලායුධ මෙම ස්ථානයෙන් ලැබුණේ ද? සංචාරක යැපුම් රටාවේ තවත් එක් තාවකාලික නැවතුම් පොලක් පමණක් වී ද? යනාදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් ඇති ගැටලු විමර්ශනය අරමුණු කරගත් පර්යේෂණ කැනීම් හා කාලනීර්ණයන් සිදුකළ යුතුව ඇත.

මෙතෙක් ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණවලට ලක්වූ ගල්ගුහා ආශ‍්‍රිතව සිදුකළ කැනීම්වලින් හමු වූ පස් තට්ටු තැම්පත්වීමේ ස්වභාවය පරීක්‍ෂා කිරීමේ දී මෙහි පස් තට්ටුවල තැන්පත්වීමේ වෙනසක් දැකිය හැකි ය. ගල්ගුහාවල හමුවන පස් තැම්පතු අතර බෝලගල් තට්ටුවක් දැකිය නොහැකි වුවත් මෙවැනි නොඋස් පාෂාණ උද්ගතයන්හි එළිමහන් ස්ථානවල මානවයන් ජීවත්වූ බවට සාධක තැම්පත් වී ඇත්තේ බොරළු තට්ටුවට යටින් වූ බෝලගල් තට්ටුවේ ය. මෙම ස්ථර ආකෘතියක් හමාරියාගල ස්ථානයේ දී දැකිය හැකි ය. පුරාවිද්‍යාත්මක කැනීමකට ලක් නොවුණත් මෑතක් දක්වා එම ස්ථානයේ සිදුකළ මහා පරිමාණයේ ගල් කැඞීම් හේතුවෙන් ගල් වළක් බවට පත්ව ඇති අතර එහි විවිධ හරස් කැපුම්වල ඉහත කී සියලු ආකෘතික ලක්‍ෂණ දක්නට ඇත.

ශ‍්‍රී ලංකාවේ පළමු වැනි අඩතැන්නේ හා දෙ වැනි අඩතැන්නේ වාසය කළ ප‍්‍රාග් ඓතිහාසික මානවයින් පිළිබඳව සිදුකර ඇති පර්යේෂණ සීමිත ප‍්‍රමාණයකි. සොයාගෙන ඇති පුරාවිද්‍යාත්මක සාධක ද අල්ප ප‍්‍රමාණයකි. ඒ අතරින් බලංගොඩ සංස්කෘතියට සමාන සංස්කෘතික ලක්‍ෂණ සහිත ශිලා මෙවලම් සමස්ත ලංකාවෙන් ම සොයාගෙන ඇත්තේ හතරක් හෝ පහක් තරම් සීමිත ප‍්‍රමාණයක් වේ. ඒ අතරට බලංගොඩ මානවයාගේ වියළි කලාපීය නියෝජනය තහවුරු කිරීමට හෝ ඒ හා සම කාලීන පුලතිසි මානවයෙකුගේ සම්ප‍්‍රාප්තිය තහවුරු කළ හැකි තරම් ප‍්‍රබල සාධකයක් ලෙස හමාරියාගලෙන් හමු වූ මෙම ශිලායුධය හැඳින්විය හැකි ය.

පොළොන්නරුවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධයෙන් තවත් වැදගත්වන තිරුවාණ සහ කහඳ පාෂාණයෙන් කළ මෙවලම් කිහිපයක් 2014 වර්ෂයේ පොළොන්නරුව ඓතිහාසික දෙමළ මහසෑය කැනීම්වලින් සොයාගත හැකි විය. මේ අතුරින් තිරුවාණ මෙවලම් අවම වශයෙන් මීට අදින් වසර 12,000 පෙර මෙම ප‍්‍රදේශයේ ජීවත්වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයින් භාවිත කළ උල් ආයුධ වේ. කහඳ මෙවලම අදින් වසර 40,000 කින් එපිට පුරාශිලා යුගය නියෝජනය කරන මෙවලමක් වන අතර පොළොන්නරුව මෙම කාල සීමාව තුළදීත් මානව ක‍්‍රියාකරකම්වලට ලක්වී ඇති බව තහවුරු කරන සාධක වේ. මේවා හමුවූයේ ද්විතීයික සන්දර්භයක් ලෙස නිගමනය කරන ලද දෙමළ මහසෑය අභ්‍යන්තර පිරවුම් සඳහා යොදාගත් පස් තැම්පතුවලිනි.

පහතරට තෙත් කලාපයේ ලෙන් ආශ‍්‍රිතව සිදුකළ කැනීම්වලින් බහුල ලෙස හමු වී ඇති මෙවලම්වලට සාපේක්‍ෂව මධ්‍යශිලා යුගයට අයත් ආකෘතික ලක්‍ෂණ පෙන්නුම් කරයි. පීඩන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් පතුරු ගලවා මනාව සකස්කරන ලද මෙවලම් වේ. සුදුකන්ද හා පහල අඹන්ගඟ නිම්නයෙන් සොයාගතහැකි තිරුවාණ සහ කහඳ පාෂාණයෙන් නිර්මාණය කරන ලද ආයුධ වේ. ඒ අනුව දෙමළ මහසෑය ආසන්නයේ තිබුණු ජනාවාස පස් තට්ටුවකින් ගෙනඑන ලද පස්, පිරවුම් සඳහා යොදා ගෙන තිබේ. ඓතිහාසික යුගයේ පොළොන්නරු නගරය බිහිවීමට පෙර මෙම ආශ‍්‍රිතව ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස පිහිටි බව මෙයින් මනාව පැහැදිලි වේ.

පූර්ව ඓතිහාසික යකඩ යුගයේ පොළොන්නරුව

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් 2009 වර්ෂයේ සිට සිදු කළ මෑත කාලීන ගවේෂණයන්හි එක් පැතිකඩක් වූයේ 12 වැනි සියවසට පෙර පොළොන්නරුවේ ස්වභාවය අනාවරණය කරගැනීමයි. එහිලා ඓතිහාසික අවධියට පෙර ආසන්නත ම අවධියේ එනම් පූර්ව ඓතිහාසික යකඩ යුගයේ දී පොළොන්නරුව අවට මානව ජනාවාස පැතිරී තිබූ බවට පැහැදිලි සාධකයක් වශයෙන් දිඹුලාගල කන්ද වටා ස්ථාන කිහිපයකින් සොයාගතහැකි වූ මහශිලා යුගයට අයත් සොහොන් බිම් පෙන්වා දිය හැකි ය. දිඹුලාගල කන්දට සැතැපුම් කාලක් තරම් බටහිර දිසාවෙන් හා නැගෙනහිර දිසාවෙන් පිහිටි මේවා ක‍්‍රිස්තු පූර්ව 770-450 අතරට කාලනීර්ණය කර ඇති ඉබ්බන්කටුව සොහොන්වලට හාත්පසින් ම සමාන ලක්‍ෂණ වේ. මේ හා සමාන පුරාවිද්‍යාත්මක සාධක ලෙස පොළොන්නරුවේ රොටවැව (මින්නේරිය), කුරුමිණියාව (බකමූණ) ආදී ස්ථානවල පිහිටි මෙගලිතික සුසාන භූමි ඒ පිළිබඳ සෙසු පුරාවිද්‍යාත්මක සාධක ලෙස පෙන්වාදිය හැකි ය.

උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සොරිවිල ග‍්‍රාම නිලධාරී වසමේ ස්ථානගත වෙයිග පුරාණ පාලන ඒකක බෙදීම් අනුව තමන්කඩුව එගොඩපත්තුවට මෙම ක්‍ෂේත‍්‍රය අයත්වෙයිග නිරපේක්‍ෂ වශයෙන් උත්තර අක්‍ෂාංශ 070 52’55.72” N හා නැගෙනහිර දේශාංශ 810 06’38.86” E ස්ථානගත වීමක් ක්‍ෂේත‍්‍ර මධ්‍යයේ සටහන් වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 140 (MSL) පමණ වන උපරිම උස මට්ටමක් දක්වා වූ භූමියක මෙම සුසාන භූමිය පිහිටා ඇත. එහි මූදු මට්ටමේ සිට උසින් අඩි 130ක සිට 140 දක්වා වූ භූමියේ පමණක් සුසාන සාධක ගවේෂණ අවස්ථාව වනවිට දක්නට හැකි විය.

පොළොන්නරුව දිඹුලාගල ප‍්‍රධාන මාර්ගයේ නාමල් පොකුණ විහාරස්ථානය ඉදිරියෙන් දකුණට දිවෙන පුදුක්කුඩිය වැව මාර්ගය ඔස්සේ ගියවිට කී.මී. 1/2 ක දී පමණ පුදුක්කුඩිය වැව හමු වේ. එහි වැව් බැම්ම මතින් කී.මී. 1/2ක් පමණ ගියවිට සොරිවිල හා මනම්පිටිය යා කෙරෙන වැලිපාර හමුවේ. එම ස්ථානයෙන් කී.මී. 1/2 පමණ වම් අතට ගමන් කිරීමේ දී ප‍්‍රස්තුත ස්ථානයට ප‍්‍රවේශ විය හැකිවෙයි. එසේ නැතහොත් දිඹුලාගල විහාරස්ථානය අසල හන්දියෙන් සොරිවිල හා කරපොළ දක්වා දිවෙන මාර්ගයේ කී.මී. 2ක් පමණ ගිය පසු වම්පසින් හමුවන සොරිවිල කන්ද පසුකොට දකුණට හැරෙන මාර්ගයෙන් ද මෙම ස්ථානයට පිවිසිය හැකි ය.

මීට අමතරව දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 257 ජයපුර, ග‍්‍රාම නිලධාරී වසමේ ගල්තලාව D5 කොටසේ ද තවත් මෙවැනිම සුසාන භූමියක් හමු විය.  නිරපේක්‍ෂ වශයෙන් උත්තර අක්‍ෂාංශ 70 51’926” හා නැගෙනහිර දේශාංශ 810 11’830” ස්ථානගතවීමක් ක්‍ෂේත‍්‍ර මධ්‍යයේ සටහන් වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 253 (AMSL) පමණ වන උපරිම උස මට්ටමක් දක්වා වූ භූමියක මෙම සුසාන භූමිය පිහිටා ඇත. දිඹලාගල අරලගංවිල මාර්ගයේ ගල්තලාව හන්දියෙන් වමට හැරී කි.මී 5ක් පමණ ගියපසු මෙම ස්ථානය හමු වේ. මෙය සොරිවිල සුසානයේ සිට කි.මී. 10ක් පමණ දුරින් දිඹුලාගල කඳුවැටියේ නැගෙනහිර දිසාවෙන් පිහිටියේ වෙයි. මෙම සුසාන, භූමිය මතුපිට දැකිය හැකි සාධක අධ්‍යයනයෙන් හඳුනාගත් ඒවා ව අතර මේවායෙහි අභ්‍යන්තර සැළස්ම පිළිබඳව මෙහි දී අධ්‍යයනයට ලක්නොවීය. පූර්ව කැනීම් හා පර්යේෂණයන්ට ලක්වූ සැළස්මට හාත්පසින් ම සමාන ඉබ්බන්කටුව සිස්ට් සුසානය අන්තර්ගතය සඳහා හොඳම සාධකයයි. භෂ්මාවශේෂ හෝ මානව අස්ථි සොහොන්ගත කිරීමේ දී මියගිය පුද්ගලයා එදිනෙදා භාවිත කළායැයි සිතිය හැකි ඇගේට් කාණීලියන් වැනි මාල සහ ආභරණත් යකඩ ආයුධ හා ආහාර වර්ගත් ස් සමගම තැම්පත් කළ බව ඉහත කැනීමෙන් නිගමනය කර ඇත.

සොරිවිල සුසාන භූමියට මීටර 500ක් පමණ නිරිත දිසාවෙන් ජනාවාසයක සාධක ද සොයාගත හැකිවිය. ධූමරක්‍ඛ පබ්බත හෙවත් දිඹුලාගල (1672) ශේෂ කඳු ගැටයේ නාමල් පෙකුණ අවට පිහිටි ස්වාභාවික ගල්ගුහා හා ආවරණ ආශ‍්‍රයේ ජීවත්වූ ප‍්‍රධාන ජන කොට්ඨාශයන්ට අමතරව ඒ වටා පිහිටි නොඋස් කඳුගැට හා උස් භූමිවල වාසය කළ පූර්ව ඓතිහාසික යුගයේ ජන කොටසක් පිළිබඳ කිසියම් අදහසක් මේ තුළින් ලැබේ. අක්කර 4ක් හෝ 5ක් පමණ භූමියක මෙය පැතිර පවතී. ජනාවාසයත් සුසාන භූමියත් වෙන් වන්නේ වර්තමානයේ කරපොළ විල්ලුව නමින් හැඳින්වෙන විල්ලුවට අයත් පහත් නිම්න භූමියකිනි. එහි ඉස්මත්තෙහි උසින් උපරිම අඩි 35ක් පමණ වන ගල් තලාවකි. විවිධ හැඩයෙන් හා ප‍්‍රමාණවලින් යුත් මැටි බඳුන් මෙම ජනාවාස භූමියෙන් හමුවිය. ප‍්‍රාථමික තාක්‍ෂණයෙන් නිපදවන ලද කොරොස් හා නෑඹිලි බහුලව හමුවන අතර විශාල ප‍්‍රමාණයේ භරණිවල කොටස් ද දක්නට ලැබේ. ඔවුන් විසින් භාවිතයට ගත් මැටි උඳුන්වල කොටස් ද මේ අතර දැකිය හැකි ය. එපමණක් නොව මොවුන් යකඩ පිළිබඳ මනා දැනුමක් මෙන්ම යකඩ ප‍්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ආහාර පරිභෝජන රටාව සහ සංස්කෘතික කාර්යයන් ද ඒ අනුව හැඩගසාගත් ජන කණ්ඩායමක් වූ බවට සාධක ලෙස මෙයින් හමුවන යබොර කොටස් දැක්විය හැකි ය.

ඓතිහාසික යුගයෙන් ඔබ්බට යන පොළොන්නරු ඉතිහාසයේ විශේෂ කඩඉමක් ලෙස දිඹුලාගල අවටින් හමුවන මුල් යකඩ යුගය නියෝජනය කරන මෙම සුසාන සාධක හැඳින්විය හැකි ය. මේවා අයත් යුගය පිළිබඳව සැලකීමේ දී යම් අයුරෙක ලිඛිත සාධක ඇතත් තවමත් ඒවා නිශ්චිත ව අර්ථ දක්වා නොමැති යුගයට එනම් ප්‍රෝටෝ ඓතිහාසික (Protohistoric) අවධියට අයත් ය. එම අවධිය ක‍්‍රිස්තු පූර්ව 300 – ක‍්‍රිස්තු පූර්ව 1000 අතර කාලයට අයත් වේ. ශ‍්‍රී ලංකාවේ මේ පිළිබඳ මුල්ම සාධක හමුවන අනුරාධපුර සහ සීගිරියේ අලිගල රක්‍ෂිතය ක‍්‍රිස්තු පූර්ව 1000 – 800 දක්වා කාල නීර්ණය කර ඇත (Deraniyagala 1992:709-29: Karunarthna & Adikari 1994:58:). මෙම සුසාන භූමි අවම වශයෙන් අදින් වසර 2,800 – 3,000ක් තරම් වූ අතීතයේ (ප්‍රෝටෝ ඓතිහාසික අවධියේ) පොළොන්නරු කලාපය ජනාවාසව තිබූ බවට පැහැදිලි තොරතුරු වේ. එවකට පොළොන්නරුවේ වාසය කළ මිනිසුන්ගේ චර්යා රටාව හා ඔවුන්ගේ සංස්කෘතික ලක්‍ෂණ මේවා තුළින් විද්‍යමාන වේ.

ක‍්‍රිස්තු පූර්ව 1000-800 අතරවූ පූර්ව යකඩ යුගය ශී‍්‍ර ලාංකේය ඉතිහාසයේ යකඩ භාවිතයට ගැනීමත් සමගම විවිධ තාක්‍ෂණික පෙරලියක ආරම්භය සිදු වූ විශේෂ කඩඉමක් ලෙස වැදගත් වේ. ගල් ආයුධ භාවිතය ඉවත්වීම, ලෝහ භාවිතය, කෘෂිකර්මාන්තය, සත්ත්ව සහ ශාක ගෘහාශ‍්‍රිතකරණය, නාගරීකරණය වර්ධනය, මූලික ගම්මානවල වර්ධනය, ජලපෝෂක ප‍්‍රදේශවල හා එහි තදනුබද්ධ පරිශ‍්‍රවල ගොවිබිම් ඇති වීම (ප‍්‍රාථමික ජල කළමනාකරණය), ප‍්‍රාදේශික ජනගහන වර්ධනය, කාලරක්තවර්ණ මැටි බඳුන් නිෂ්පාදනය, යබොර, විලාසිතා පබළු, ආදාහනය කරන ලද හා වැළලු මෘත ශරීර සහිත සුසාන, මැටි බඳුන්වල කුරුටු සලකුණු යෙදීම, ප‍්‍රාථමික ග‍්‍රාමීය ශිෂ්ටාචාර ආරම්භ කිරීම මෙම යුගයේ අනන්‍යතා ලක්‍ෂණ වේ.

පූර්ව අධ්‍යයනයන් මගින් හඳුනාගෙන ඇති මුල් යකඩ යුගයේ සංස්කෘතික ලක්‍ෂණ පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමෙන් මෙම සුසාන භූමි පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. මුල් යකඩ යුගයේ ජනතාවගේ සංස්කෘතික ලක්‍ෂණ අතර සුසාන චාරිත‍්‍ර හා සුසාන ක‍්‍රම විදහා පායි. මේ යුගයට අයත් ස්ථාන 50 – 60 අතර ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් සොයා ගෙන තිබේ. ඉන් වැඩි ප‍්‍රමාණයක් සුසාන භූමි (53) වන අතර ඊට සාපේක්‍ෂව වාසස්ථාන 9ක් තරම් අඩු ප‍්‍රමාණයකි.

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් සිටි තැනම මියගිය පසු වළ දා තිබේ. කිසිවකු මළ පසු එම ගල්ලෙන අතහැර වෙනත් ගල්ලෙනක් කරා ගොස් ඇති අතර මේ යුගයේ දී යම්කිසි දියුණුවක් ලබා ඇතිබව පෙනේ. යකඩ යුගයේ දී මිනිසුන් මැරුණු පසු චාරිත‍්‍ර පැවැත්වීමට වෙනම ම සුසාන භූමි ස්ථාන තිබී ඇත. දැනට ලංකාවේ සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව මෙගලිතික ජනතාව විසින් සිදු කරන ලද සුසාන ක‍්‍රම කීපයක් පිළිබඳව අනාවරණය කරගෙන තිබේ. ප‍්‍රධාන වශයෙන් භාවිත වූ බරණි සුසාන, සිස්ට් සුසාන, වළ ක‍්‍රමය, ඩොල්මන් සුසාන හා සාකොපාගුස් යන විවිධ වර්ගයේ සුසාන ක‍්‍රම 5ක් මෙම යුගයේ මිනිසුන් අනුගමනය කර ඇති බව සොයා ගෙන තිබේ.

මෙම සුසාන භූමි අතරින් ශිලා මංජුසා හෙවත් ගල්පෙට්ටි (සිස්ට් සුසාන) සුසාන ක‍්‍රමය වැඩි වශයෙන් ලංකාවේ හමු වේ. පොළොන්නරුවේ වාසය කළ මිනිසුන් අනුගමනය කළ ක‍්‍රමය වන්නේ ද මෙම සුසාන ක‍්‍රමයයි. සුසාන ගර්භයන්හි මූලික ලක්‍ෂණය වන්නේ හතර දිශාවෙන් සිට වූ ගල් පුවරු හතරකින් ආවරණය කරන ලද ගර්භයක් සහ පියන් ගලකින් වසා තිබීමයි. සොරිවිල භූමියේ සුසාන ගර්භ හා පියන්ගල් 82ක් හඳුනාගත හැකි ය.

මෙම සුසාන භූමිය කැනීමකට ලක්නොකළ හෙයින් අභ්‍යන්තර සැකස්ම හා අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි සඳහනක් කළ නොහැකි ය. ඒ සඳහා හාතපසින්ම සමාන පූර්ව කැනීම් මඟින් අනාවරණය කරගෙන තිබෙන ඉබ්බන්කටුව සුසාන භූමිය හා සාපේක්‍ෂතා අධ්‍යයනයකට ලක්කිරීම යෝග්‍ය වේ. එහි පොළව මතුපිට ගල් පෙට්ටි 200ක් පමණ ඇත. ව්‍යාප්තිය අක්කර 25කි (හෙක්ටයාර 10). කාල නිර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව 7 වැනි සියවසට අයත් වේ. වැළලීම ප‍්‍රාථමික වැළලීමයි. ටික කාලයක් තබා මස් දිය වූ විට තෝරාගත් මැටි භාජනවල දමා ගල් පෙට්ටි තුළ තැම්පත් කිරීම ද්විතීයික වැළලීම යි. මෙම සුසාන ක‍්‍රමයේදී අනුගමනය කළ චාරිත‍්‍රයන් අතර ඔවුන්ගේ යම් යම් විශ්වාසයන් හා පිළිගැනීම් හෝ සම්මතයන් කිහිපයක් ද හඳුනාගත හැකි ය.

  • තනි පුද්ගල සුසාන ක‍්‍රමය : එක් පුද්ගලයෙකුට පමණක් කළ සොහොන්
  • බහු පුද්ගල වැළලීම් ක‍්‍රමය : පුද්ගලයන් කිහිප දෙනෙකු සඳහා එකිනෙකට ඈඳීමෙන් කළ සොහොන් ක‍්‍රමය. බොහෝවිට එකම පවුලේ හෝ සමීපතම ඤාතීන් මෙසේ වළ දමන්නට ඇත
  • මියගිය පුද්ගලයා පරිහරණය කළ දෑ මරණින් පසු නැවත ඉපදී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ඔහුගේ සුසානය තුළ තැන්පත් කිරීම හේතුවෙන් නැවත ඉපදීම හෝ මියගිය මුතුන් මිත්තන්ට ගරු කිරීම විශ්වාස කළ බව පෙනේ
  • සියලු සුසාන ප‍්‍රධාන දිශානුගතව ඉදිකිරීම තුළ ද කිසියම් විශ්වාසයන් හා පිළිගැනීම් සම්මතයන් වූ බව පෙනේ
බහු පුද්ගල (එකම පවුලේ) සුසාන ගර්භයක් හා පියන්ගල සහිත තනි පුද්ගල සුසාන ගර්භයක සාධක, මෙගලිතික සුසානය – සොරිවිල දිඹුලාගල

සුසාන තැම්පතු ද්‍රව්‍ය පිළිබඳව ද ශී‍්‍ර ලංකාවේ වෙනත් ස්ථානයන්හි සුසාන ආශ‍්‍රිතව කළ පූර්ව පර්යේෂණයන් මගින් අනාවරණය කරගත් සාධක අනුව මේ පිළිබඳව කිසියම් අදසහක් ඇති කරගත හැකි ය. අතර ලෝහ උපකරණ වශයෙන් තඹ ලෝකඩ හා යකඩ මෙවලම් දැකිය හැකි ය. පූර්ව ඓතිහාසික සුසාන භූමි ආශ‍්‍රිතව හමුවන සීමිත ලෝහයක් වශයෙන් යකඩ භාවිතය පිළිබඳ සාධක පෙන්වා දිය හැකි ය. යකඩ පිහි ඊතල විවිධ තල සහ ඇණ කොටස් හඳුනාගත හැක. මෙම යකඩ උපකරණ බොහෝ විට ආයුධ ලෙස පරිහරණය කළ ඒවා බව අනුමාන කළ හැක (සෙනෙවිරත්න 1994:272). තඹ භාවිතය පිළිබඳ සාධක පින්වැව මෙගලිතික සුසාන භූමියේ කැනීමෙන් මෘතදේහ සමග වළලා තිබී හමු විය. ඒ අතර තඹ කූරු හා වළලු කැබලි වැදගත් වෙයි. ඊට අමතරව පොම්පරිප්පු සුසාන ආශ‍්‍රිත තඹ භාවිතය පිළිබඳ සාධක හෙළි වන්නේ එහි තිබී හමු වූ තඹ පබළු, පළඳනා, යෂ්ඨි, කූරු, මිණිගෙඩි ආදී තඹ නිර්මාණ ආදිය නිසාවෙනි. මෙවැනි තඹ නිර්මාණ ගුරුගල්හීන්න පූර්ව ඓතිහාසික සුසාන කැනීමෙන් හමු වූ බව රාජා ද සිල්වා සඳහන් කරයි (රාජා ද සිල්වා 1970). විවිධ හැඩයෙන් මෙන්ම විශේෂ වර්ණ රටාවලින් යුත් පබළු විශාල ප‍්‍රමාණයක් මෙම සුසාන ආශ‍්‍රිත මෘතදේහ සමඟ තිබී හමු වී ඇත. කානේලියන් පබළු ආදී දුර්ලභ පබළු විශාල ප‍්‍රමාණයක් පොම්පරිප්පු හා ඉබ්බන්කටුව ආදී සුසානවලින් හමු වී ඇත. තිරුවාණ ආශ‍්‍රය කොටගෙන නිර්මාණය කරන ලද ගල් ආයුධ සුළු ප‍්‍රමාණයක් මෙම සුසාන ආශ‍්‍රිත අනෙකුත් ද්‍රව්‍ය සමග වළලා තිබී හමු වූ බව වාර්තාවේ යකඩ භාවිතය තිබියදීත් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් භාවිතයත් තරමක් හෝ දුරකට පැවැති බවට ප‍්‍රත්‍යක්‍ෂ සාධක මෙම සුසාන ආශ‍්‍රයෙන් සෘජුව ලැබේ. කිසියම් සංකේත සහිත කාල රක්තවර්ණ මැටි බඳුන් (පින්වැව ගල්සොහොන් කනත්ත) ද සුසාන තැම්පතු අතර වේ.

2012 වර්ෂයේ පොළොන්නරුව පැරණි නගරයේ නැගෙනහිර වෙහෙර නමින් හඳුන්වන සංක‍්‍රාන්තික යුගයේ ඉදිකළ රාජකීය ගෙඩනැගිල්ලක සිදුකළ කැනීමෙන් ද මෙම අවධිය නියෝජනය කරන සාධක සොයාගන්නා ලදි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් තාක්‍ෂණය අධ්‍යයනය කිරීමේ අරමුණ ඇතිව කළ කැනීමකින් ද මෙම යුගය නියෝජනය කරන වෙනස් ස්වරූපයකින් යුත් සුසාන ක‍්‍රමයක සාධක සොයාගත හැකි විය.

පොළොන්නරුව පැරණි නගරයෙහි පිටත නගරයේ අංක 2 ශිව දේවාලයට මීටර 50ක් පමණ ගිනිකොණ දෙසින් ද පොළොන්නරුවේ පැරණි නගරයේ නැගෙනහිර බටහිර ප‍්‍රධාන වීදියට මීටර 50ක් උතුරු දෙසින් පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 196ක් පමණ උසකින් මෙය පිහිටා ඇත. GPS දත්තවලට අනුව උතුරු අක්‍ෂාංශ 70 57’02.09” නැගෙනහිර දේශාංශ 81000’21.00” යන ස්ථානයෙහි පිහිටා ඇති අතර  ආළාහණ පරිවෙන කැනීම් සඳහා යොදාගත් ග‍්‍රිඞ් සැළසුමෙහි A52  B52 යන ප‍්‍රධාන කොටු දෙකට අයත්ව පිහිටා ඇත.

මෙයින් හඳුනාගත් සාධක ද කිසියම් සුසාන ක‍්‍රමයක් බව පැහැදිලි වන අතර මෙතෙක් ලංකාවේ හඳුනාගෙන නොමැති මිහිදන් ක‍්‍රමයක ලක්‍ෂණ පෙන්නුම් කරයි. විද්‍යාත්මක කාලනීර්ණ සඳහා යොමුකර ඇති අතර ඒ අනුව නිශ්චිත දින වකවානු ලැබෙනු ඇත. මෙහි දක්නට ඇති ලක්‍ෂණ අනුව පූර්ව ඓතිහාසික යකඩ යුගයේ සුසානවලට වඩා ප‍්‍රාථමික ලක්‍ෂණ පෙන්නුම් කරන බැවින් එම යුගයටත් වඩා පැරණි විය හැකි ය.

පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් වියහැකි සුසාන ක‍්‍රමයක සාධක, පොළොන්නරුව ඇතුළුනුවර නැගෙනහිර වෙහෙර කැනීම 2012

ඓතිහාසික අවධිය (අනුරාධපුර රාජධානියේ සිට පොළොන්නරුව රාජධානිවීම දක්වා)

ලංකා ඉතිහාසයෙහි විශේෂ කඩඉමක් වූ විජයාගමනයත් සමග ඇතිවන ජනාවාසකරණයේ දී පොළොන්නරුව ප‍්‍රදේශයට හිමි වූයේ ප‍්‍රමුඛස්ථානයකි. ඒ කිසිවක් නිසා නොව විජය සමඟ පැමිණි විජිත ඇමැති විසින් පිහිටුවාගත් විජිතගාමය කේන්ද්‍රගත වූයේ පොළොන්නරු ප‍්‍රදේශයේ බැවිනි (ම.ව. 9 පරි. 10 ගා.). විජිත කුමරු නැගෙනහිර වෙරළේ ගෝකණ්ණ තොටුපළ හරහා මහා ගංගාව ඔස්සේ යා හැකි උපරිම දුර පැමිණ සහස්සතිත්ථයෙන් (දහස්තොට) (ම.ව.10 පරි. 58 ගා.) ගොඩබැස ඒ අසල විජිතගාමය පිහිටුවාගෙන ඇත. මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන්ගේ විග‍්‍රහයට අනුව විජිත ගාමය පිහිටවූයේ පොළොන්නරුවේ ය.

මින් අනතුරුව පඩුවස්දෙව් රජු විසින් ගිරිකණ්ඩශිවට පෙර දෙන ලද ගිරිකණ්ඩක පවු පෙදෙස පණ්ඩුකාභය සමය වනවිට කෙත් බිමක් ලෙස අස්වද්දා තිබූ බව පෙනේ. සියයක් කිරියක පැසීගිය කෙත්හි ගොයම් කපමින් සිටි ගිරිඛණ්ඩශිවට බත ගෙනයන ස්වර්ණපාලි කුමරිය පණ්ඩුකාභය කුමරුට හමුවන පුවත අනුව මේ ප‍්‍රදේශයේ මහාපරිමාණ වශයෙන් වී ගොවිතැන සිදු වූ බව පෙනේ (මහාවංස ටීකාව 10 පරි.) 30 ගා.) වර්තමානයේ ස්වර්ණපාලිගම කලහනගර අතර පැවැති කොටසයි.

ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධය හේතුවෙන් පොළොන්නරුව ප‍්‍රදේශයේ වාසය කළ ජන කොටස් විසින් භික්‍ෂූන් වහන්සේලා උදෙසා කළ ලෙන් පූජාවන් පිළිබඳව සඳහන් ලෙන්ලිපි හමු වේ. දිස්ත‍්‍රික්කයේ ස්ථාන 13කින් පූර්ව හා අපර බ‍්‍රාහ්මී ලෙන් ලිපි 51ක් වාර්තා වේ (Paranavitana 1970 nos. 272-321). මේවා හමුවන්නේ මහවැලි ගඟ හා මාදුරු ඔය අතර වූ අන්තර් නිම්න කලාපය තුළින්ය. දූවෙගල (Bell 1892; Paranavitana 1970 no.270) ගල්කන්ද, කෝනට්ටිගොඩ ගල්ගේ, දේව ගල්ගේ, ලුණුවරණගල, (Paranavitana 1970 no 271, no 288, nos.299-300, no 321) කන්දේගම කන්ද (Paranavitana 1970 nos. 289-298) වැනි ස්ථාන ඉන් සමහරකි. රන්කොත් වෙහෙර ආසන්නයේ ඇති ගෝපාල පබ්බතයේ ලෙන් පියැස්සේ ඇති “මඩලයහ ලෙනෙ” නම් ලිපියට අනුව ක‍්‍රිස්තු පූර්ව 2 වැනි ශතවර්ෂයට පමණ වන විටත් මෙහි ජනාවාසකරණයට ලක්ව පැවති බව ද සනාථ වේ. එ පමණක් ද නොව මින්විල, කොට්ටාරගල, දුවේගල ආදී ස්ථානවල ලිපිවලට අනුව ක‍්‍රිස්තු පූර්ව අවධියේ සිට ම මහවැලි ගඟ කේන්ද්‍ර කොටගත් වාරි කටයුතු පොළොන්නරුව ආශ‍්‍රිතව කෙරී ඇති බව ද තහවුරු වන්නකි.

පොළොන්නරුවේ කදුරුවෙල බලකොටුව (විජිතපුර)

ක‍්‍රිස්තු පූර්ව 161 දී එළාර රජු විසින් ඔහුගේ ප‍්‍රබලතම බලකොටුව වූ විජිතපුර බලකොටුව ගොඩනගන්නේ ඉහත කී විජිතගාමය හෙවත් විජිත ජනපදය මුල්කරගෙනයිි. දුටුගැමුණු සටන් ව්‍යාපාරයේ දී නොබිඳිය හැකි එළාර රජුගේ බලකොටු දෙතිසෙන් ප‍්‍රබලතම බලකොටුව වූයේ විජිතපුර බලකොටුවයි. දුටුගැමුණු රජු විසින් විජිතපුර බලකොටුව අත්පත් කර ගැනීම සඳහා ඒ අසල කඳවුරු බැඳගත් ස්ථානය කඳවුරුපිටිය (ඛන්ධාවාරපිට්ඨි) (මහාවංසය 25 පරි. 20 ගා.) ලෙසින් හඳුන්වා ඇත. එසේ කඳවුරුබැඳි පිටිය කඳවුරුපිටිය > කඳවුරුවෙල බවටත් වර්තමානයේ කදුරුවෙල බවටත් පත්ව ඇත්තේ මේ යැයි අනුමාන කළ හැකි ය. මේ බලකොටුව පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් 2009 වර්ෂයේ සිට සිදු කළ ගවේෂණ හා කැනීම් මඟින් මෙහි පුරාවිද්‍යාත්මක සාධක තහවුරු කරගෙන ඇත. මෙය භූමි ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටරයක් පුරා විහිදුනු කොටුවකින් හා දිය අගල්, ප‍්‍රාකාර හා දොරටුවලින් සමන්විත වූ විශාල නිර්මාණයකි.

ස්ථානගත පිහිටීම

උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත‍්‍රීක්කයේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වීරපෙදෙස හා 4 ඇළ ග‍්‍රාම නිලධාරී වසම් තුළ බලකොටුව පිහිටා ඇත. උතුරින් පොලොන්නරුව පූජා නගරයත් නැගෙනහිරින් වර්තමාන කදුරුවෙල නගරයත් බටහිරින් වර්තමාන පොළොන්නරුව නව නගරයත් දකුණු දෙසින් වර්තමාන අලුත්වැවේ ඉහත්තාවත් බලකොටුවේ සාපේක්‍ෂ පිහිටීම වේ. බලකොටුවෙහි සිව්කොන්වල පිහිටීම පහත පරිදි වේ. ගිණීකොණ N7 55.068, E81 01.613 නිරිත N7 55.068, E81 01.122 වයඹ N7 55.491, E81 01.114  ඊසාන N7 55.491, E81 01.611.

බලකොටුවේ ප‍්‍රමාණය

බලකොටුව කොටස් දෙකකින් යුක්ත ය. එහි ප‍්‍රධාන කොටස චතුරශ‍්‍රාකාර ගර්භයයි. සිවු දිසානුගතව පිහිටි සෘජුකෝණාශ‍්‍රාකාර දොරටු අනෙක් කොටසයි. දකුණු ප‍්‍රාකාර බැම්ම නැගෙනහිර සිට බටහිරට දිග විද්‍යමාන සාධක හා භූ ලක්‍ෂණ අනුව ආසන්න වශයෙන් මීටර 870කි. මෙය දෙ පස (නැගෙනහිර හා බටහිර) දිය අගල් සහිතව මීටර 936 කි. බටහිර ප‍්‍රාකාර බැම්ම දකුණේ සිට උතුරට දිග ආසන්න වශයෙන් මීටර 840කි. දෙ පස (දකුණු හා උතුරු) දිය අගල් සහිතව මීටර 922කි. දකුණු දිගින්වූ දෙ වැනි දිය අගල හා ජනාවාස භූමිය පළලින් මීටර 190කි. මේ අනුව බලකොටුවට යට වී ඇති සියළු බිම් ප‍්‍රමාණය ආසන්න වශයෙන් වර්ග මීටර 1,108,032කි. පර්චස් 43,813කි. අක්කරවලින් 273කි. හෙක්ටයාර 110කි. එනම් වර්ග කිලෝමීටර 1.10ක භූමි ප‍්‍රමාණයකි. ඒ අනුව බලකොටු භූමිය සතරැස් කිලෝමීටරයකටත් වැඩි භූමියක පැතිර පවතී. උතුරු දොරටුව දිය අගල් සහිතව දිග මීටර 336ක් හා පළලින් මීටර 200කි.

බලකොටුවේ දකුණු පැත්ත වඩාත් සැළකිලිමත්ව හා ශක්තිමත් ලෙස ඉදි කළ බවට එහි ඇති සාධක අනුව බලකොටුව ඉදිකිරීමේ මූලික සංකල්පය මොනවට පැහැදිලි කරයි. ප‍්‍රධාන සතුරාගේ ගමන් මග ඉලක්ක කරගනිමින් සෙසු පැතිවලට වඩා ශක්තිමත් දුර්ග නිර්මාණයක් දැකිය හැකි ය. දකුණු පැති පවුරට ආසන්නයෙන් ඉදිකළ දිය අගල පළලින් මීටර 42කි. ඉන් අනතුරුව මීටර 160 පළලැති බිම් තීරයකි. ඊට දකුණින් පළලින් මීටර 30කින් යුත් දිය අගලකි. ඔබ්බෙන් පිහිටි කොටස වැව් ජලයෙන් හෝ වගුරු බිම්වලින් යුක්ත වන්නට ඇති බව සිතිය හැකි ය. දිය අගල් දෙක අතර වූ මීටර 160ක පළලින් යුත් බිම් තීරය ආරක්‍ෂිත භූමියක් ලෙසත් ඉදිරි ආරක්‍ෂක කලාපයක් ලෙසත් පවතින්නට ඇත. වළං කැබලිති සහිත මිනිස් ක‍්‍රියාකාරකම්වලින් යුක්ත බිම් තීරයක් ලෙස හඳුනාගත හැකි මෙම කොටස මිනිස් පළිහක් ලෙස ක‍්‍රියාත්මක වන්නට ඇති බව සිතිය හැකි ය. ඒ අනුව බොහෝවිට මෙම කොටස යුද භටයන්ගේ ජනාවාසවලින් යුක්ත වන්නට ඇතැයි සිතිය හැකි ය. දකුණු පස ප‍්‍රධාන පිවිසුම් දොරටුව මෙහි නැගෙනහිර කෙළවරට වන්නට පිහිටි බවක් පෙනේ. ප‍්‍රධාන මාර්ගය එයින් දකුණු දිසාවට එනම් මහවැලි ගඟ හා අඹන්ගඟ එක්වන ප‍්‍රදේශයේ පිහිටි විල්ලු භූමිය දක්වා උස්භූමියක් ලෙස විහිද තිබූ බවට සාධක හමු වේ. බලකොටුවේ භූමි ප‍්‍රමාණය පිළිබඳව සැලකීමේ දී අනුරාධපුර ඇතුළුනුවර හා සමාන වන අතර එය පොළොන්නරුව ඇතුළු නගරය මෙන් 6 ගුණයක විශාලත්වයකින් යුතු වේ.

බලකොටුවේ ප‍්‍රාකාර

රජයේ බීජ ගොවිපල පිහිටි කොටසේ ප‍්‍රධාන පිවිසුමේ පටන් දකුණු හා බටහිර දිසානුගතව පිහිටි ඇතුලත මාර්ග පද්ධතිය විහි දී ඇත්තේ ද ස්වභාවික උස් භූමියක් ලෙසින් දිස්වෙන පවුරු බැම්ම මතයි. ප‍්‍රාකාර බැම්ම පළලින් අඩුම ස්ථානවල මීටර 14ක්වන අතර ඇතැම් තැනෙක මීටර  16ක ප‍්‍රමාණයකින් යුක්ත ස්ථාන ද හමු වේ. සමස්ථයක් ලෙස බැම්මේ පළල මීටර 15ක් ලෙස ගත හැකි ය. තැනින්තැන සේදීයාම හා කුඹුරු අස්සද්දීම හේතුවෙන් මෙහි ප‍්‍රමාණාත්මක වෙනස්වීම් දැකිය හැකි ය. බීජ ගොවිපල කාර්යාලයේ සිට මීටර 410ක්වූ නැගෙනහිර පවුරත්  මීටර 430ක් දක්වා වූ දකුණු ප‍්‍රාකාර බැම්මත් ගොවිපල කටයුතු සඳහා ප‍්‍රවාහන මාර්ගයක් ලෙස දැනට භාවිත කරයි.

ප‍්‍රාකාර බැම්ම ඉදිකිරීම සඳහා පස් යොදාගෙන ඇති අතර පහතම පස් තට්ටු තලා තද කොට ඇතිබවක් පෙනේ. ඉන් මතුපිට ස්තරය සඳහා යොදාගෙන තිබෙන්නේ කුඩුගල් මිශ‍්‍ර පස් තට්ටුවකි. මෙය බොහෝ විට දිය අගල කැපීමේ දී පතුල මට්ටමේ දී ඉවත් කරන ලද පස් තට්ටුව විය හැකි ය. පවුරු බැම්මෙහි ඉදිකිරීම් තාක්‍ෂණය හා ක‍්‍රමවේදය පැහැදිලි කරගතහැකි සාධක දකුණු ප‍්‍රාකාර බැම්ම මධ්‍ය කොටසේ හා උතුරු බැම්මේ තැනින් තැන තවමත් දැකිය හැක උතුරු බැම්මේ නැගෙනහිර මුල්ලේ බොහොමයක් ශේෂ සාධක පැහැදිලිව දැකිය හැකි ය. මේ සඳහා දිග හතරැස් පුවරු වශයෙන් කැඞීගිය ගල් කැබලි පස් සමඟ යොදාගෙන තිබේ. හමුවන ගල් 70 සෙ.මී. × 15 සෙ.මී. × 10 සෙ.මී. උතුරු පැත්තේ ප‍්‍රාකාර බැම්ම දිය අගලේ (වර්තමාන කුඹුරු මට්ටමේ) සිට මීටර 4 පමණ උසකින් යුක්ත ය. මෙහි දිය අගල හා පවුර අතර මීටර 8 ක් පමණවූ ප‍්‍රදක්‍ෂිණා පථය පැහැදිලිව දැකිය හැකි වේ. බොහෝ විට පස් බැම්ම මත දැව කඳන් උපයෝගී කරගෙන සකස් කරන ලද දොරකොටු හා අට්ටාල සහිත ප‍්‍රාකාරයක් ගොඩනගා තිබෙන්නට ඇත. අර්ථශාස්ත‍්‍රයට අනුව බලකොටුවේ ප‍්‍රාකාරය අඩි 36ක උසකින් යුක්ත වූවක් විය යුතු ය.

බලකොටුවේ දොරටු

බලකොටුවේ ප‍්‍රධාන දොරටුව උතුරු දිශානුගතව ඉදිකරන ලද්දකි. සමස්ත දොරටුව පළලින් මීටර 200 ආසන්න ය. දිග 336කි. මෙහි අභ්‍යන්තර කොටස සංකීර්ණ නිර්මාණ ලක්‍ෂණවලින් යුක්ත ය. වටා දිවෙන දිය අගල බලකොටුව වටා දිවෙන දිය අගලට සම්බන්ධවන අතර දොරටුව අභ්‍යන්තරයේ ද දිය අගල් දෙකකින් සමන්විත වේ. දොරටුවේ බටහිර කොටස මීටර 125 පමණ පළලැති ගොඩබිම් තීරයකි. ඉන් අනතුරුව උතුරු දකුණු දිශානුගතව දිවෙන දිය අගල මීටර 20කි. අභ්‍යන්තර දිය අගලින් වටවූ මීටර 35 පමණ පළලැති බිම් තීරයකි. උස්බිම් තීරයේ සිට දිය අගලේ තත්වය නිරීක්‍ෂණය කළහැකි ආකාරයෙන් ඉදිකොට ඇති අතර උතුරු පසින් පිහිටි වැවෙන් පැමිණෙන්නන්ට බලකොටුවේ දොරටුව පිළිබඳව අවබෝධයක් ලබාගත නොහැකි පරිදි මංමුලා කරන ආකාරයේ දිය අගලක් ලෙස ඉදි වී ඇත.

අනෙකුත් දොරටු සෘකෝණාශ‍්‍රාකාර හැඩයෙන් යුක්ත වුවත් උතුරු දොරටුව මෙන් ඉදිවූ ඒවා නොවේ. දිගින්වැඩි පැත්ත බලකොටුවට ඈඳී තිබේ. මේවායෙහි වටා බැමි දක්නට නොමැති අතර ජලාශ‍්‍රිත හෝ වගුරු බිම්වලින් සීමාවන්නට ඇති බව පෙනේ. නැගෙනහිර පිවිසුම් දොරටුව ලෙස වර්තමාන බීජ ගොවිපලේ කාර්යාලය පිහිටි භූමිය වශයෙන් හඳුනාගත හැකි ය. මෙහි දැනට ගොඩනැගිලි පිහිටා ඇති කොටස පමණක් ශේෂව ඇති අතර සෙසු කොටස් වගාබිම් ලෙස අස්සද්දා තිබේ. බෝග සලකුණු අනුව නැගෙනහිර දොරටුවට සමාන්තරව බටහිර දොරටුවේ ලක්‍ෂණ හඳුනාගත හැකි ය. බලකොටුවේ දකුණු දොරටුව කොටස ද වගා සලකුණු අනුව හඳුනාගත හැකි අතර මෙම කොටස තුළ ගල්කණු සහිත ගොඩනැගිල්ලක සාධක මෙයින් හමු වේ.

බලකොටුවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ පිවිසුම් දොරටු බලකොටුවට ඈදා නොතිබීමයි. දොරටුව හා චතුරශ‍්‍රය අතර දිය අගලකින් සම්බන්ධය කඩකළ හැකිව තිබූ බවක් පෙනේ. දොරටුව හා පවුර අතර සම්බන්ධය සැනෙකින් බිඳිය හැකි ආරක්‍ෂිත උපක‍්‍රමයක් භාවිත වන්නට ඇති බවක් සිතිය හැකි ය. ඒ අනුව දිය අගල හරහා එසවිය හැකි හෝ එහා මෙහා කළ හැකි හකුලන පාලම් තිබෙන්නට ඇත. ක්‍ෂණික ප‍්‍රහාරවල දී මෙම උපක‍්‍රම ක‍්‍රියාත්මක කරන්නට ඇත. නිරන්තර රැකවලෙහි යෙදුණු මුර සෙබළුන් පවුර වටා නිරන්තර සෝදිසි පරීක්‍ෂාවෙහි යෙදෙන්නට ඇති අතර පවුර මත හා බලකොටුවේ මුළුවල උස් අට්ටාල ඇසුරු කරමින් දුර සිට පැමිණෙන සතුරන් නිරීක්‍ෂණයටත් මුර සෙබළුන් යොදවා තබෙන්නට ඇත.

බලකොටුවේ ආරක්‍ෂිත දිය අගල්

බලකොටුව වටා ආරක්‍ෂිත දිය අගලකි. පවුරට යාබදව ඉදිකළ පිට දිය අගල පළලින් මීටර 33කි. දිය අගලට වඩා මීටර 2ක් උසින් ප‍්‍රාකාරය පිහිටා තිබේ. දිය අගලෙහි දියබෙරලිය නෙලුම් වැනි ජලජ ශාකවලින් හා ඇතැම් තැනෙක වගුරුබිම් ආශ‍්‍රිතව වැඩෙන හම්බු ශාකය දැකිය හැකි ය. තැනින් තැන ශේෂ වී ඇති දිය අගලේ එරෙන සුළු ගොහොරු සහිත බිම්කඩවල්වල ස්වභාවය අනුව දිය අගල ඉතා ගැඹුරකින් යුක්තව තිබූවක් බව පෙනීයයි. දිය අගලේ ශේෂ කොටස්වල කුඹුරු අස්සද්දා ඇති අතර ඇතැම් තැනෙක කෙසෙල් හා කොහිල වගාවන්ද ඇතැම් තැනෙක විසිතුරු මතස්‍ය වගා සඳහා කළ පොකුණු ද දැකිය හැකි වේ. දකුණු හා උතුරු දොරටු හා මධ්‍ය කොටුව අතර ඇති දිය අගල් මීටර 42ක පළලකින් යුක්ත ය. දකුණු දිය අගලේ සිට මීටර 160ක් දුරින් මීටර 30ක් පළලැති දෙ වැනි දිය අගල දැකිය හැකි ය. මෙය දකුණු පවුරට සමාන්තරව බටහිර දෙසට විහිද ගොස් උතුරු දෙසට දිවෙයි. බීජ ගොවිපලට අයත් කොටසේ දිය අගල් තවමත් ඒ ආකාරයෙන්ම පවතී.

බලකොටුවේ අභ්‍යන්තර සැකැස්ම

බලකොටුව අභ්‍යන්තරයේ සැකැස්ම කෙසේ තිබුණේ ද යන්නට නිරාවරණය වූ සාධක අල්ප ය. මන්දයත් අඩක් පමණ කොටසක කුඹුරු අස්සද්දා ඇති අතර ඉතිරි අර්ධය සම්පූර්ණයෙන් ම පාහේ ජනාවාස වී පවතින බැවිනි. කෙසේ වෙතත් 2010 වර්ෂයේ බලකොටුව අභ්‍යන්තරයේ ශේෂ වී ඇති එක් බිම් කඩක පර්යේෂණ කැනීමක් සිදු කිරීමට හැකි විය. එම පර්යේෂණ කැනීමෙන් අ්‍යන්තර සැකැස්ම පිළිබඳ දල අදහසක් ලබා ගැනීමට හැකි විය. ඒ අනුව බීජ ගොවිපලට අයත් කොටසේ දකුණු හා බටහිර ප‍්‍රාකාරවලට මීටර 100යක් මධ්‍යයට වන්නට කුඹුරු මධ්‍යයේ පිහිටි කුඩා බිම් කඩ තෝරා ගන්නා ලදි. මෙම ගොඩැල්ල සොයාගන්නා අවස්ථාව වනවිටත් කුඹුරු අස්සද්දීමේ දී ක‍්‍රමක‍්‍රමයෙන් කැපීගොස් ගොඩැල්ල ක්‍ෂය වෙමින් තිබේ. ගඩොළු කැට සහ උළු කැට බහුලවීම නිසා කැපීමට අපහසු කොටසක් ලෙස ශේෂ ව තිබිණි. මෙම ගොඩැල්ලට අමතරව ඒ වටා භූමියේ කිසියම් ගොඩනැගිලි අවශේෂ ඇති බව නගුල් තලවලට ගැටී ගඩොළු ගැල වී යන බව රියදුරන්ගේ අදසහයි.

මෙම භූමිය දිගින් මීටර 33කි. පළලින් මීටර 10කි. එහි කැනීමෙන් හමු වූ ගොඩනැගිලි සාධකවලට අනුව නිවරැදි ලෙස දිශානුගත කිරීමෙන් අභ්‍යන්තර ගොඩනැගිලි ඉදිකර ඇති බව පැහැදිලි විය. ඒ අනුව බලකොටුවේ අභ්‍යන්තර ගොඩනැගිලි හා මාර්ග පද්ධතිය ඉදිකරීමේ දී කිසියම් ක‍්‍රමානුකූලව ජ්‍යාමිතික සැළසුමක් අනුව නිර්මාණය කර තිබෙන්නට ඇති බවක් පෙනේ. මැද මිදුල් හා අභ්‍යන්තර ස්නානාගාර සහිත මෙම ගොඩනැගිල්ල බලකොටුවෙහි රාජකාරියෙහි යෙදී සිටි කිසියම් ප‍්‍රභූ පුද්ගලයෙකුට අයත් වූවක් විය හැකි බව එයින් ලැබුණු සඳුන් තැටිය, සඳුන් ගල වැනි පුරාවිද්‍යාත්මක සාධක අනුව සිතිය හැකි ය.

කැනීමෙන් මතුකරගත් අභ්‍යන්තර ගොඩනැගිල්ලක වාස්තු විද්‍යාත්මක සාධක
බලකොටුවේ අභ්‍යන්තර සැකැස්ම හඳුනාගැනීම සඳහා සිදුකළ පුරාවිද්‍යාත්මක කැනීම 2010
කැනීමෙන් හමු වූ විශේෂ භාජනයක්
කැනීම් අතරතුර පැමිණි පාසල් සිසුන් දැනුවත් කිරීම

බලකොටුවක ලක්‍ෂණ මෙහි තිබේද?

කදුරුවෙල බලකොටුව නිර්මාණය කිරීමේ දී කෞටිල්‍යගේ අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන බලකොටු නිර්මාණය පිළිබඳ උපදෙස් අනුගමනය කළ බවක් හැෙඟ්. ඒ අනුව බලකොටුව දිය අගල් තුනකින් වටවිය යුතු වුවත් සතුරන්ගේ ඉලක්කගත දකුණු දිසාවෙන් පමණක් දිය අගල් නිර්මාණය කරගත් බවක් පෙනේ. දකුණු දිගින් දිය අගල් දෙකක් සහ තුන්වැන්න ලෙස වැව සම්බන්ධ කරගෙන තිබේ. මේවා සඳහා ද භූමියේ පිහිටීම අනුව යොදාගත්තා මිස නියමිත දුරවල් අනුගමනය කළබවක් නොහැෙඟ්.

බලකොටුවක් හෝ දුර්ගයක් සැළසුම් කළ යුතු ආකාරය පිළිබදව කෞටිල්‍යගේ ආර්ථශාස්ත‍්‍රයේ දැක්වේ.  “බලකොටුවක් ගොඩනැගීම සඳහා ස්වාභාවික පිහිටීම අනුව ඉතාම යෝග්‍ය භූමිය තෝරාගත යුතුය. එය ගගකින් වටනොවූවක් නම් පහත් භූමියකින් වටවූ උස් සම භූමියක ගොඩනැගිය යුතුය.” යනාදී වශයෙන් දැක්වෙන පරිදි උස් සම භූමියක නිර්මාණය වූ ඖධක වර්ගයේ බලකොටුවක නිර්මාණ ලක්‍ෂණ මෙහි දැකිය හැකි වේ. බටහිර දොරටුව කොටස හැරුණු විට හාත්පසින්ම පහත් භූමියකින් වට වූ උස් සම භූමියක් දැකිය හැකි ය. පහත් භූමිය පුරා වර්තමානයේ පරාක‍්‍රම සමුද්‍රයේ 4 ඇලෙන් දියවර සැපයෙන කුඹුරු වේ.

කවාකාර සතරැස් හෝ සෘජුකොණාශ‍්‍රාකාර හැඩයට බලකොටු නගරය ගොඩනැගිය යුතු ය. දිය අගල් තුනකින් මගින් එය වට කළයුතු බවටත් කෞටිල්‍ය උපදෙස් දී ඇත. අගල් විනාශ නොවී ශක්තිමත්ව තබා ගැනීමට ජලය රඳා තබන මට්ටම දක්වා දෙපස ගලින් හෝ ගඩොලින් බැඳ පතුල ද ගලින් බැඳීම ද යන දෙකින් එකක් කොට අවුරුද්ද පුරාම අගලට ජලය ලැබෙන පිළිවෙලට සකස්කොට අතිරික්ත ජලය පිටවිය හැකි පරිදි ද නිර්මාණය කර නෙළුම් හා කිඹුලන්ගෙන් ද ගහණ කළ යුතු ය. අගල්වලට පිටතින් උස්වූ ප‍්‍රාකාරයක් ගොඩනැගිය යුතු ය. එහි පළල උස මෙන් දෙගුණයක් විය යුතු ය. අලින් ලවා පාගා පදනම ශක්තිමත් කළ යුතු ය. විෂ කටු ගස් රෝපණය කළ යුතු ය. අගල් කටුවැල් හා ජලයෙන් පිරවිය යුතු ය. වර්තමාන බැම්මෙහි පළල මීටර 16.46කි (අඩි 54). එවිට පවුර උසින් මීටර 8.23ක් ව (අඩි 27) තිබෙන්නට ඇත. නමුත් අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන්නේ දිය අගල්වලට අඩි 24ක් ඇතුළතින් අඩි 36ක පවුරක් බැඳිය යුතු බවයි. ඒ අනුව මෙම පවුරෙහි සම්පූර්ණ පළලින් අඩි 24 ගිය විට ඉතිරිවන්නේ අඩි 28කි. ඒ බැම්මේ පළල ය. ඒ අනුව පවුරේ උස අඩි 14කි. පවුර වටා ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙස විවෘත භූමියක්ව තිබෙන්නට ඇත. මේ ලක්‍ෂණය බලකොටුවේ උතුරු පැති බැම්මේ ශේෂ වී ඇති ස්ථාන හමු වේ. මහාවංස විස්තරයේ අටළොස් රියන් උස පවුරු තොරණක් ගැන සඳහන්වේ. එය අවම වශයෙන් අඩිවලින් 27කි. ඒ අනුව පවුර පළලින් අඩි 52ක් විය යුතු ය. එනම් වර්තමාන බැම්මේ පළලට සමාන ය.

ගොඩනැඟිලි ඉදිකිරීම් සාධක

බලකොටුවෙහි නැගෙනහිර උතුර හා දකුණු පැති සම්පූර්ණයෙන්ම පාහේ වැව්වලින් ආරක්‍ෂා වූවකි. පවුර පාමුල දක්වාම වැව් ජලයෙන් පිරී තිබූ බව සිතිය හැකි ය. 1948 වසරේ දී අලුත්වැව නමින් නවීකරණය වූයේ පැරණි වැවෙන් කොටසකි. එය චූල මොග්ගල්ලාන හෙවත් සුළු මුගලන් විසින් බැඳවූ දනවැව (ධනවාපී) (ම.ව.41 පරි 61 ගා) විය හැකි බව ජනප‍්‍රවාද අනුව පෙනේ. දකුණු දිශානුගත දොරටුව මධ්‍යගතව ඉදිකීරීමට නොහැකිවූයේ වැව් ජලය දකුණු පවුර දක්වාම පැතිර පැවැති නිසා විය යුතු ය. ඒ අනුව නොවැසෙන ඉතිරි සුළු බිම් තීරුවේ නිර්මාණය කොට ඇති බැවින් බව පෙනේ. මෙවැනි විශේෂතා අනුව පැහැදිලි ලෙසම බලකොටුවක ලක්‍ෂණ මෙහි දැකිය හැකි ය.

අනුරාධපුර රාජධානියෙහි මුල්කාලයේ සිටම රජවරුන්ගේ විවිධ ක‍්‍රියාකාරකම් පොළොන්නරුව කේන්ද්‍රකොට සිදු වූ බවට සාධක තිබේ. වසභ රජු (කි‍්‍ර.ව. 65-109) විසින් මහවැලි ගෙඟ් අතු ගංගාවක් වන අඹන්ගඟ හරහා අමුණක් බැඳ ජලය ලබා ගත් බව සඳහන්වේ. මහසෙන් රජු (කි‍්‍ර.ව. 276-303) විසින් මින්නේරිය හා කවුඩුලූ වැනි මහ වැව් තැනවීමත් (ම.ව.37 පරි.47 ගා.) එම ශත වර්ෂයේ දී ම පළමුවන උපතිස්ස රජු (කි‍්‍ර.ව.365-406) විසින් තෝපා වැව ඉදිකිරීම පිළිබඳව සඳහන් වේ. (පූජාවලිය 34 පරි 778 පිට) දෙ වැනි අග්බෝ රජු (කි‍්‍ර.ව. 608-618) විසින් ගිරිතලේ වැව සෑදවීමත් පිළිබඳව ඇති සඳහන් මේ සඳහා ප‍්‍රමාණවත් ය.

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ ඇතැම් රජවරු අන්තර් පාලන මධ්‍යස්ථානයක් බවට පත් කර ගන්නා ලද්දේ පොළොන්නරුවයි. අනුරාධපුරයෙහි වාසය කළ තුන්වන අග්ගබෝධි රජු (ක‍්‍රි.ව. 667-683) පොළොන්නරුවෙහි මහාපාණදීප නම් සංඝාරාමයක් තැන වූ බවත් හතර වැනි අග‍්‍රබෝධි (ක‍්‍රි.ව.658-674) රජු වසර හයක් පමණ පොළොන්නරුවේ සිට රජකම් කරමින් ඔහුගේ ජීවිතයේ අවසාන භාගය ගෙවූ බවත් මහාවංස විස්තරයෙන් හැෙඟයි (ම.ව.47(49) පරි.18 ගා.). 2012 වර්ෂයේ කැනීම්වලින් හඳුනාගන්නා ලද රාජකීය ගොඩනැගිල්ල මෙම අතරමැදි අවධියට අයත් විය හැකි ය. දෙ වැනි දප්පුළ රජු (ක‍්‍රි.ව. 807-812) විසින් පොළොන්නරුවේ වෙදහලක් කරවන ලදි (ම.ව.46 (48) පරි.74 ගා.). මීට අමතරව හත් වැනි අග‍්‍රබෝධි (ක‍්‍රි.ව. 766-772) දෙ වැනි සේන (ක‍්‍රි.ව. 833-853) පස්වන සේන (ක‍්‍රි.ව. 972-982) යන රජවරුන් ද පොළොන්නරුව අගනුවර කරගනිමින් මෙහි වාසය කොට මෙහිම මිය ගිය බවට තොරතුරු දැක්වේ.

අනුරාධපුර සිට කච්ඡුකතිත්ථයට (පොළොන්නරුව ආසන්නයේ මහවැලි ගෙඟ් පිහිටි තොටුපලකි) වැටී තිබූ මාර්ගය පැරණිම මාර්ගයක් ලෙස දැක්වේ. මෙය මහියංගණය බුත්තල හරහා මහාගාම දක්වා විය. මේ මාර්ගයෙන් මිහින්තලයේ සිට මහගංතොටට යොදුන් 9කි. එනම් වර්තමාන මිණුම්වලින් සැතපුම් 81කි. කි.මී. 129.6 තරම් වූ දිගින් යුක්ත වූ මාර්ගයකි. නගර දෙක අතර කෙලින් දුර ආසන්න වශයෙන් සැතපුම් 55කි. යොදුනක් (සැතපුම් 9 කි) වූ බවත් දැක්වේ. මෙම මාර්ගය අනුරාධපුරය හා රෝහණය යා කළ ප‍්‍රධානම මාර්ගයයි. ඒ අනුව රෝහණ රාජ්‍යය හා කෙරුණු සියලු කාර්යයන්හි දී පොළොන්නරුව කේන්ද්‍රස්ථානයක් හා නගරාන්තර ආරක්‍ෂිත නේවාසික මධ්‍යස්ථානයක් ලෙස භාවිත වූවාට සැක නැත. රුහුණෙන් අනුරාධපුර රාජධානියට එල්ලවිය හැකි තර්ජනයන් සාර්ථක ලෙස වළකාලීමට හැකි වැදගත් අතරමැදි කඳවුරක් වශයෙන් ද පොළොන්නරුව වැදගත් විය. මේ සඳහා මෙහි පැවැති පාරිසරික හා භූගෝලීය සාධකවල වැදගත්කම බොහෝ සේ හේතු වන්නට ඇත. මේ අනුව පොළොන්නරුව, අනුරාධපුර රාජධානියේ ආරක්‍ෂාව උදෙසා කළ ආරක්‍ෂිත උප නගරයක් වශයෙන් ද පැවති බව පෙනේ.

කැනීම අවසන් වූ පසු

සමාලෝචනය

ඓතිහාසික යුගයක් යනු ක්‍ෂණිකව පහල වන්නක් නොව පූර්ව යුගයන්හි එහි ක‍්‍රියාකාරිත්වය හා දායකත්වය මත නිර්මාණය වන්නකි. ජනාවාසවීම කෙරෙහි ද යෝග්‍යතාව පිළිබඳ නිර්ණායකය වන්නේ කාලාන්තරයක භාවිතාවයි. ඒ අනුව පොළොන්නරුව ඓතිහාසික යුගයේ ජනාවාසවීම කෙරෙහි අඛණ්ඩව සිදු වූ මානව භාවිතාව උපයෝගී වී ඇති බව පෙනේ.

ඉහත පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව අදින් වසර 37,000කට පෙර සිට ක‍්‍රිස්තු පූර්ව 3,800 දක්වා පැවැති මධ්‍යශිලා යුගය පොළොන්නරුවේ ජනාවාස වීම කෙරෙහි ඇති ආදිතම කාලවකවානුවයි. එම යුගයේ වසර 37,000ට පමණ අයත් ශිලා මෙවලම එහි ප‍්‍රධාන පුරාවිද්‍යාත්මක සාධකයයි. නිශ්චිතවම දින වකවානු නියම කර නැතත් සාපේක්‍ෂ වයෙන් අදින් වසර 12,000 පෙර කාලයට අයත් දෙමළ මහසෑයෙන් ලැබුණු ශිලා මෙවලම් ද මෙම යුගය නියෝජනය කරයි. ඉන් අනතුරුව පුරාවිද්‍යාත්මක සාධක ලැබෙන පූර්ව ඓතිහාසික යකඩ යුගය ක‍්‍රිස්තු පූර්ව 1000 – ක‍්‍රිස්තු පූර්ව 300 අතර කාලයට හෙවත් මහින්දාගමනයට පෙර ආසන්නතම අවධියට අයත් වේ. මෙම අවධිය අදින් වසර 2,600 පෙර අවධියට අයත් ශේෂ සාධක ලෙස දිඹුලාගල අවට පිහිටි මෙගලිතික සුසානභූමි හා පැරණි නගරයේ නැගෙනහිර වෙහෙර කැනීමෙන් හමු වූ බඳුන්ගත අළු ආදාහනය කිරීමේ සුසාන ක‍්‍රමයක සාධක පෙන්වාදිය හැකි ය. ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ඓතිහාසික යුගය සම්බන්ධයෙන් වංශකතාගත සාධකත් ක‍්‍රිස්තු පූර්ව 2 සියවෙස් සිට පූර්ව හා අපර බ‍්‍රාහ්මී ශිලාලේඛනමය සාධකත් පොළොන්නරුවේ භාවිතය පිළිබිඹු කරයි.

අනුරාධපුර යුගයේ කඳවුරුනුවර, කඳවුරුපුරය ආදී අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ලද පොළොන්නරුව සැබවින්ම යුදමය කාර්යයන්හි දී බලකොටු නගරයක් ලෙසත් අන්තර්පාලන මධ්‍යස්ථානයක් ලෙසත් භාවිත වූ බව පෙනේ. පුරාවිද්‍යාත්මක ගවේෂණ හා පර්යේෂණ කැනීම් මඟින් තහවුරු කරගත් විජිතපුර බලකොටුව පිළිබඳ සාධක පොළොන්නරුව යුදමය උපයෝගීතාව ඉස්මතුකරවන වැදගත් සාධකයක් ලෙස පෙන්වාදිය හැකි ය. මෙය ඓතිහාසික යුගයේ පොළොන්නරුව රාජධානී වීමට පෙර අනුරාධපුර යුගයේ පොළොන්නරු ප‍්‍රදේශයේ භාවිතාව ඉස්මතු කරවන වැදගත් සාධකයකි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • ආර්ථික විමසුම (1997), ඔක්/නොවැ, 23 වෙළුම, අංක 7 සහ 8, පර්යේෂණ අංශය මහජන බැංකුව, කොළඹ.
  • දැරණියගල, සිරාන් (1991), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.
  • පුලතිසි වංශය (2010), සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය, කොළඹ
  • පූජාවලිය (1951), (සංස්.) කිරිඇල්ලේ ඤාණවිමල හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
  • මහාවංසය i (1996), ශ‍්‍රී සුමංගල හිමි හික්කඩුවේ, බටුවන්තුඩාවේ දේවරක්‍ඛිත දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
  • මහාවංසය ii (1996), ශ‍්‍රී සුමංගල හිමි හික්කඩුවේ, බටුවන්තුඩාවේ දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
  • මාරසිංහ ප‍්‍රියන්ත සුසිල් කුමාර (2010), පොළොන්නරුවේ කදුරුවෙල බලකොටුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව.
  • මාරසිංහ ප‍්‍රියන්ත සුසිල් කුමාර (2012), දිඹුලාගල මෙගලිතික සුසාන භූමි හා ජනාවාස, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව.
  • ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, i කාණ්ඩය iii පරි. දුටුගැමුණු රජුගේ ජයග‍්‍රහණය සෙනරත් පරණවිතාන (1964) විද්‍යාලංකාර මුද්‍රණාලය.
  • වංසතථප්පකාසිනී,  සිංහල අනුවාදය, (1994) අකුරටියේ අමරවංස නාහිමි, හේමචන්ද්‍ර දිසානායක, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, විද්‍යාලංකාර මුද්‍රණාලය.
  • සෙනෙවිරත්න, සුදර්ශන් (1994), ශී‍්‍ර ලංකාවේ ලෝහ තාක්ෂණයේ ආරම්භය,(සංස්.) ගොඩගම මංගල හිමි, ග‍්‍රාමීය තාක්ෂණය, වාරියපොල ශී‍්‍ර සුමංගල විද්‍යාලීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ශිලාලේඛන සංග‍්‍රහය (2000), නන්දසේන මුදියන්සේ, සංස්. එස්. ගොඩගේ
  • Bell, H.C.P. (1892), Archaeological survey of Ceylon, Report on North-Central Province, Colombo
  • Deraniyagala, S.U.(1992), The Prehistory of Sri Lanka: An Eological Perspective, Department of Archaeology, Colombo.
  • Karunarathna, P. & G. Adikari (1993), Excavation at Aligala cave, Further studies in Settlement Archaeology in Sigiriya-Dambulla regon, S.Bandaranayake (ed.), PGAIR, Colombo.
  • Perera, H.N., (2010), Pre history of Sri Lanka: Late Pleistocene rockshelters and an open-air site, BAR Ineternational Series 2142, Archaeopress publishers of Brotish Archaeological Reports, Oxford.
  • Perera, N., N. Kourampas, I.A. Simpson, S.U. Deraniyagala, D. Bulbeck, I. Kamminga, J. Perera, D.Q. Fuller, K. Szabo, N.V. Oliveira, (2011), People of the ancient rainforest: late Pleistocene foragers at the Batadomba-lena rockshelter, Sri Lanka, J.hum Evol: 2011 Sep: 61(3):254-69
  • Paranavitana, S. (1970), Inscription of Ceylon, Colombo.
--------------------------------------------------------------------------------------------------------

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.09.10 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

--------------------------------------------------------------------------------------------------------

අනුරාධපුර, පන්කුලිය (අශෝකාරාමය) බුද්ධ ප‍්‍රතිමා වහන්සේ හා මහායාන දර්ශනය

ඩබ්.එම්. චින්තක සඳරුවන්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

හැඳින්වීම

චින්තක සඳරුවන්

ශ‍්‍රී ලාංකේය මානව ශිෂ්ටාචාරයේ ආරම්භය අදින් වසර 125,000 දක්වා දිව යන බව ආචාර්ය සිරාන් දැරණියගල සඳහන් කරයි. එහෙත් මෙරට සංස්කෘතිය ක‍්‍රමවත් ආකාරයෙන් සකස් වීම ආරම්භ වන්නේ ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී දේවානම්පිය තිස්ස (ක‍්‍රි.පූ. 250-210) රාජ්‍ය සමයේ සිදුවන මහින්දාගමනයත් සමඟ බව පිළිගැනීම වේ. පසුව මහාවිහාරය කේන්ද්‍රගත වෙමින් ශ‍්‍රී ලාංකේය භික්ෂු සංස්කෘතියත් ඒ හා බැදුණු මානව සංස්කෘතියෙත් විකාශනය සිදු විය. ඒ අනුව අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍ර ගත වෙමින් විහාර ආරාම නිර්මාණය වීම සිදු වී ඇත. සියවස් තුනක් පමණ අඛණ්ඩ ලෙස ගලා ආ භික්ෂු පරපුර වට්ටගාමිණි අභය (ක‍්‍රි.ව. 87-76) රාජ්‍ය සමයේ දි මහාවිහාරය සමඟ ගැටුම් ඇතිවන අතර මහායානික අදහස් ලාංකේය සමාජය තුළ ව්‍යාප්ත වන අතර (මව. xxxvii, ගාථා:1-16) මහාවිහාරය, අභයගිරිය වෙනම නිකායන් වශයෙන් ථේරවාද, මහායාන ලෙස බෙදී යන අතර විහාර ආරාම දෙක පදනම්ව අනු ආයතන ගණනාවක් බිහිවීම දැකගත හැකි ය. 6 වැනි සියවස වන විට ලාංකේය භික්ෂු සංවිධානයේ ප‍්‍රධානම ලක්ෂණය වූයේ ද මහාවිහරය, අභයගිරිය හා ඡේතවනාරාමය ලෙස විහාර තුනෙහි නායකත්වය යටතේ නිකාය නමින් වෙන වෙනම කණ්ඩායම් වලට සකස් ව පැවතිමයි (ගුණවර්ධන, 1993:7). 5 වැනි සියවසට අයත් වන බොහෝ අභිලේඛන හා සාහිත්‍ය මුලාශ‍්‍ර හි දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවතින විහාරස්ථාන හැඳින්වීමේ දී මෙම ප‍්‍රධාන නිකායන් තුනෙන් එකකට අයත් බව දැක්වීමට කටයුතු කර ඇති බව හඳුනාගත හැකි ය. මෙහි දී වර්ථමානයේ පන්කුලිය අශෝකාරාමය ලෙස හැඳින්වෙන පබ්බතාරාම ගණයට වැටෙන විහාරය පිළිබඳවත් එහි විශේෂ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිළිබඳවත් විමසීමට ලක්කරනු ලැබේ.

වර්තමානයේ පන්කුලිය බුද්ධ ප‍්‍රතිමාව දිස්වන ආකාරය

ලක්දිව මහායාන දර්ශනයේ මුලාරම්භය

ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී ලාංකේය ඉතිහාස කතාවේ වැදගත් කාල පරිච්ඡේදයක් වේ. එනම් මහින්දාගමනය සිදු වීම සමග මෙරට බුදු දහම පදනම් වෙමින් සකස් වීම නිසාවෙනි සියවස් ගණනාවක් යන තෙක්ම මේ තත්ත්වය කිසිදු ගැටලුවක් නොවී පැවතුණු අතර විවිධ රජවරු කුමාරවර ඇමතිවරුන් මෙන්ම බෞද්ධ භක්තිකයෝ ථේරවාදාය ආරක්ෂා කිරිමටත් ජනප‍්‍රිය කරවිමටත් ව්‍යාප්තියටත් කටයුතු කරන ලදි. ක‍්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසේ දී මෙම තත්ත්වය වෙනසකට ලක්වේ. එයට හේතුව වන්නේ මෙම යුගයේ රාජ්‍ය පාලකත්වයට පත් වන වලගම්බා රජු දේශීය හා විදේශිය වශයෙන් ආක‍්‍රමණයකට මුහුණ දීමයි (මව. xxxiii :37-43). රාජ්‍යත්වය අහිමි වන රජු වනයෙහි සැගවෙමින් වාසය කරන සමයේ මහාවිහාරවාසි කුපික්කලතිස්ස තෙරුන් වහන්සේගේ දානයෙන් ජීවිකාව ගෙනයයි. භික්ෂුව මෙම කළ කාර්යය වෙනුවෙන් රජු කුපික්කලවාසි තිස්ස තෙරුණ්ට වැටකේ පතක ලියා ආරාම පුජාවක් සිදු කරන අතර (එම, 51) රජු නැවත රාජ්‍යත්වයට පත් වීමෙන් පසුව ගිරි නිඝණ්ටාරාමය විනාශ කර අභයගිරි නම් නව විහාරයක් කරවා තිස්ස හිමියන්ට පුජා කරනු ලැබේ. මෙම ආරාම පුජාව පිළිගැනීමත් සමග ශාසනික වශයෙන් අර්බුධ ගණනාවකට හේතු සපයන අතර තිස්ස තෙරුන් මහාවිහාරයෙන් නෙරපීම, උන්වහන්සේගේ ගෝල හිමි වූ උසුලියාතිස්ස හිමි භික්ෂුන් 500 නමක් රැගෙන මහාවිහාරයෙන් නික්ම අභයගිරි විහාරයට යාම ඒ අතර වැදගත් වේ. පසුව ඉන්දියාවේ එල්ලාරාමයේ සිට පැමිණ වජ්ජිපුත්ත නිකායික ධර්මරුචි නම් භික්ෂුවක් ගුරු කර ගනිමින් ධර්මරුචි නම්න් නිකාය නාමයක් යොදා ගෙන නව දර්ශනයන්ට අභයගිරියට ඇතුළු වීමට අවස්ථාව සලසා දේ. මෙම අවස්ථාවේ දී අභයගිරි විහාරයට මහායානික දර්ශනය මුල්වරට ඇතුළු වීම සිදුව ඇත. පසුව මහාවංසය සඳහන් කරන පරිදි වෝහාරිකතිස්ස  (ක‍්‍රි.ව. 214-236) රජ සමය තුළත්, ගෝටාභය (ක‍්‍රි.ව. 253-266)  රාජ සමය තුළත් මෙම නව දර්ශනය නිසා ශාසනික වශයෙන් යම් යම් ගැටළු මතු වූ ආකාරය හඳුනාගත හැකි වේ. මහසෙන් (ක‍්‍රි.ව. 276-303) රාජ සමය මහායාන දර්ශනයේ දියුණුවට ලැබුණු වරප‍්‍රසාදයක් බව හඳුනාගත හැකි ය. සංඝමිත‍්‍ර නම් තම ගුරු හිමිගේ හා සෝණ ඇමතිගේ උපදෙස් අනුව ක‍්‍රියාත්මක වූ රජු අභයගිරි පාර්ශ‍්‍රවය හා වෙනත් ප‍්‍රදේශ ආශ‍්‍රිත මහායානික ධර්මය පෝෂණයටත් ව්‍යාප්තියටත් රාජ අනුග‍්‍රහය ලබා දීම සිදු කළ බව සාහිත්‍ය මුලාශ්‍රය තොරතුරු අනුව සනාථ වන අතර මහාවිහාරය විනාශ කර උදු වපුරා ථේරවාදි බුදු දහමේ විනාශයට ද කටයුතු කළ බව නිකාය සංග‍්‍රහයේ සඳහන් වේ. විනය ගැටලුවක් හේතු කර ගනිමින් මෙරට මුල්ම නිකාය භේදය ආරම්භ වූ බවත් එම හේතුවෙන් අනෙක් නිකාය පරයා සමාජය තුළ ඉස්මතුවීම අරභයා නව විහාරයට වෙනත් දර්ශනයන්ට ඇතුළු විමටත් පිළිගැනීමටත් අවස්ථාව ලබා දීම තුළ මහායාන දර්ශනය මෙරට ජනගත වූ බව උපකල්පනය කළ හැකි ය. 7 වැනි සියවස් වන විට මහායාන දර්ශනය අභයගිරි විහාරය ඉතා පෘථුල අන්දමින් ප‍්‍රචාරය කළ බව හියුංසාං වාර්තා සඳහන් කරයි (බුද්ධදත්ත, 2000:386). චීන ජාතික ෆාහියන් හිමි දක්වන ආකාරයට අභයගිරියේ භික්ෂුන් 5,000ක් පමණ වාසය කළ බව ද සඳහන් කරයි (බලගල්ලගේ, 2006:93). ඒ අනුව තම දර්ශන ව්‍යාප්ත කරනු ලබන උප ආයතන පද්ධතියක් ද අභයගිරිකයින් විසින් නිර්මාණය කර ගත් බව හඳුනාගත හැකි ය. මහායාන දර්ශනය සඳහන් සුත‍්‍ර, සංස්කෘති ලිපි, තාරා දේව ප‍්‍රතිමා, බෝධිසත්ත්ව ප‍්‍රතිමා ආදිය මෙම මහායාන දර්ශනය ව්‍යාප්ත කළ ස්ථාන තුළින් හමුවන සාධක වේ. අභයගිරි විහාරයට උතුරින් පිහිටා ඇති පන්කුලිය අශෝකාරාමය ද මහායානික බෞද්ධ ස්ථානයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වේ. මෙහි දී ඒ පිළිබඳ සාක්ෂි ද සොයා බලනු ලැබේ.

ක්ෂේත‍්‍ර ස්ථානගත වීම

ශී‍්‍ර ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මධ්‍යම නුවරගම් පළාතේ අශෝකාරාම ග‍්‍රාම සේවා වසමට අයත් වන මෙම ක්ෂේත‍්‍රය කුට්ටම්පොකුණ සිට ගල්පාලම දක්වා දිවෙන මාර්ගයෙහි කිලෝමීටර් දෙකක් පමණ ගමන් කිරීමෙන් පසු ප‍්‍රධාන මාර්ගයෙන් දකුණු පැත්තට (ක්ෂේත‍්‍ර නාම පුවරු සවිකර ඇති ස්ථානයෙන්) හැරි තවත් කිලෝමිටරයක් පමණ ගිය විට පංකුලිය ක්ෂේත‍්‍රයට ලඟා විය හැකි අතර ඒ සඳහා හාල්පානු ඇලෙන්  එගොඩ විය යුතුයි. වර්ථමානයේ දී මෙම ක්ෂේත‍්‍රය උතුරින් වගුරු බිමකින් ද, දකුණින් වෙල්යායකින් නැගෙනහිරින් මල්වතු ඔයෙන් හා බටහිරින් විශාල පොකුණකින් ද සිමා වී තිබේ.

පන්කුලිය පිළිබඳ පවතින මතවාද

ජනප‍්‍රවාද සාධක අනුව දුටුගැමුණු මහ රජුගේ පුත් වූ සාලිය කුමාරයා ස්වකීය භාර්යාව වු අශෝකමාලාවගේ නමින් අශෝකාරාමය කරවන ලද බවත් ඔවුන්ගේ පේ‍්‍රම  වෘතාන්තය  හා සම්බන්ධ මල් උයනෙහි එය පිහිටා තිබුණු බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ (සිංහල ශබ්ධ කෝෂය 1965:270). සාලිය විසින් අඩු කුලයේ කාන්තාවක වූ අශෝකමාලාව විවාහ කර ගත් නිසා ඔහුට රාජ්‍යත්වය අහිමි වූ බවත් අැතුළු නගරයට ඇතුළු වීමට ද තහනම් වූ බව පෙනේ. මෙම නිසා පුජණීය ස්ථාන වන්දනා කර ගැනීමට නොහැකි වූ නිසා මෙම ස්ථානය තෝරාගත් බව ජනප‍්‍රවාදයේ එයි. එයට හේතු වන්නේ මෙම ස්ථානයේ සිට ප‍්‍රධාන බෞද්ධ මධ්‍යස්ථාන වන රුවන්වැලි සෑය, අභයගිරිය, ඡේතවනාරාමය, මිරිසවැටිය හා මිහින්තලය යන ස්ථාන සියල්ල එකම ස්ථානයක සිට නැරඹිය හැකි වීමයි. වර්ථමානයේ දී ද අශෝකාරාමය හා සාලියපුර යන ප‍්‍රධාන ගම්මාන දෙකකට මැදිව මෙම ස්ථානය පිහිටා තිබිමෙන් මෙහි යම්  සත්‍යතාවක් පවතින්නට ඇති බව සිතිය හැකි ය. මහාවංසයේ සඳහන් වන පරිදි ක‍්‍රිස්තු වර්ෂ 276ට ආසන්න කාලයේ දී මහසෙන් රජු (ක‍්‍රි.ව 276 -303) විසින් මෙහෙණවර දෙකක් අභයගිරියට උතුරින් කළ බව සඳහන් වේ (මව. xxxvii:43). එය ‘උතුරු අබාහෙබ’ හෙවත් උතුරු දෙසින් පිහිටි මෙහෙණවර ලෙස හඳුනාගත හැකි අතර එයින් එක් විහාරයක් වර්ථමාන පංකුලිය ලෙස උපකල්පනය කළ හැකි ය. භික්ෂු ශාසනය උදෙසා විවිධ වූ වෙහෙර විහාර ඉදිවන අතර භික්ෂුණින් සඳහා ද මෙහෙණවර ඉදිකර ඇත. එහි ආරම්භය දේවානම්පිය තිස්ස රාජ්‍ය සමය (ක‍්‍රි.පූ 250-210) දක්වා ම දිවයයි. භික්ෂුණින් සඳහා උපාසිකා මෙහෙණවරත්, හත්ථාළ්හක මෙහෙනවර ඇතුළු විහාර අංග නිර්මාණය කළ බව සඳහන් වේ (මව. xviii:13). මෙම යුගයට පසුත් විවිධ රාජ යුග තුළ භික්ෂුණින් සඳහා මෙහෙණවර සකස් කිරීම හා නඩත්තු කටයුතු සිදු කළ බව මහාවංසයේ මෙන්ම වංසත්ථප්පකාසිනියේ ද සඳහන් වේ. පසු කාලයේ දී මෙම ප‍්‍රදේශවලට ද්‍රවිඩ නාමයන් එක් විම නිසා උත්තර ප‍්‍රදේශය පන්කුලිය නමින් හඳුන්වා ඇති අතර එම ප‍්‍රදේශයේ පැවති මෙහෙණවර ද එම නමින් ම හඳුන්වා ඇත (සිංහල විශ්ව කෝෂය, 1965:270). මුල් යුගයේ දී මෙම ප‍්‍රදේශය ‘පාදෝන්නරුකුලිය’ ලෙස හඳුන්වා  ඇතත් එවැනි නාමයක් පැරණි සාහිත්‍ය මුලාශ‍්‍ර අතර සඳහන් නොවේ (Zilva, Wekramasinghe 1928:256). මෑතක් වන තුරුම මෙහි ද්‍රවිඩයින් වාසය කළත් වර්තමානයේ දී හඳුනාගත නොහැකි ය.

මංජු ශ‍්‍රී භාෂිත වාස්තුවිද්‍යා ශාස්ත‍්‍රයේ දක්වන කරුණු අනුව මෙම විහාරය පබ්තත විහාර ගණයට අයත් වන අතර ගෝකුලාරාම-වික‍්‍රාන්ත සැලසුම අනුව නිර්මාණය කර ඇත (මාරසිංහ, 1993:xi). මෙම ස්ථානයේ තිබ් සොයා ගන්නා ලද හතර වන මහින්ද (ක‍්‍රි.ව. 956-972) හෙවත් අබා සලමෙවන් අභය රජුගේ සෙල්ලිපියකට අනුව නව වැනි ශතවර්ශයේ දී මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු කළ බවත් එය මෙහෙණවරක් උදෙසා කළ බවත් සඳහන් වේ (එම).

පන්කුලිය  පුර්ව පර්යේෂණ

පන්කුලිය අශෝකාරාමය පිළිබඳ ව මුලින්ම ගවේෂණයට ලක්කර ඇත්තේ 1892 වර්ෂයේ දී එච්.සී.පී. බෙල් විසිනි. ඒ පිළිබඳ සිදු කළ ගවේෂණ හා කැනීම් මාර්ගයෙන් ලැබුණු පුරාවිද්‍යාත්මක තොරතුරු 1892 Archaeology Survey of Ceylon Annual Reportහි දක්වා තිබේ. එහි දී ආරාමය ආශ‍්‍රිත ව පැවති ගොඩනැඟිලි මිනුම්ගත කිරීම හා සැළසුම් ඇදීම සිදු කර ඇති අතර, මෙය භික්ෂුනි මෙහෙණවරක් බවට සනාථ කරන ශිලා ලේඛනයක් ද ජන්තාඝරයට බටහිර දිශාවේ වන ගොඩනැඟිල්ලක් අසලින් සොයාගෙන වාර්ථා කර ඇත. පසුව පරණවිතාන, සේනක බණ්ඩාරානායක, රෝලන්ඞ් සිල්වා, ඩී.ටී. දේවේන්ද්‍ර, චන්ද්‍රා වික‍්‍රමගමගේ, අනුරාධ සෙනවිරත්න ආදීන් ද මෙම පුරාවිද්‍යා ස්ථානයය පිළිබඳ ව සොයා බලා ඇති අතර එයට ප‍්‍රමුඛ හේතුව වන්නේ මෙම ස්ථානයේ ඇති බුද්ධ ප‍්‍රතිමාව බව පෙනේ.

පන්කුලිය බුද්ධ ප‍්‍රතිමාව

පන්කුලිය බුද්ධ ප‍්‍රතිමාව

පන්කුලියේ පුරාවිද්‍යා ස්ථානයේ ඇති හිඳි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ  1887 වර්ෂයේ දී ආර්.ඩබ්. අඊවර්ස් විසින් සොයාගත් බව සඳහන් වේ. හුණුගලින් නිර්මාණය කර ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාව ඒ වන විටත් විනාශ වීම් ගණනාවකට ලක්ව පැවති අතර ස්ථාන කිහිපයකින් විභේදනයට ලක්ව පැවති බව සඳහන් වේ. ප‍්‍රතිමා ලක්ෂණ අනුව බොහෝ විද්වතුන්ගේ ගෞරව ආදරයට පත් බුද්ධ ප‍්‍රතිමාවක් ලෙස මෙම බුද්ධ ප‍්‍රතිමාව දැක්විය හැකි ය. උසින් අඩි හතයි අගල් හයකින් ද පළලින් අඩි හයකින් යුක්ත වේ. බුද්ධ ප‍්‍රතිමාවක උස ගණනය කරනු ලබන්නේ නවතාල ක‍්‍රමයට අනව වන අතර අභයගිරි සම්ප‍්‍රදායට අයත් බුද්ධ ප‍්‍රතිමව උස ගණනය කරනු ලබන්නේ නළල මුදුනේ කෙස් කෙලවර සිට යටිපතුල දක්වා දුර ප‍්‍රමාණයයි (වික‍්‍රමගමගේ, 2006:49). ඒ අනුව සළකා බැලීමේ දී චතුර්මානය අනුව මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කර ඇති බව හඳුනාගත හැකි ය. හිඳි බුදු පිළිිමයක ප‍්‍රමාණමය සමතුලිතතාව රැක ගැනීම සඳහා නළලේ කෙස් කෙළවර සිට ආසනයට ඇති දුරත් වම් උරහිස සිට දකුණු දණහිසට ඇති දුරත්  දකුණු උරහිස සිට වම් දණහිස දක්වා ඇති දුරත්, දණ දෙක අතර දුරත් සමාන වීම ප‍්‍රතිමා ප‍්‍රමාණ විද්‍යාවේ දී චතුර්මාන ලෙස සැළකේ (එම, 53). අභයගිරි සම්ප‍්‍රදායේ බුදු පිළිමවල ඇති තවත් ලක්ෂණයක් වන්නේ හිස මුදුනේ ඉහලය නේරාගිය බුදු රැස් සංකේතයයි (රංසිපුඤ්ඡය). මෙය චීන මුලාශ‍්‍රය අනුව උෂ්නීෂය ලෙස ද හඳුන්වයි. ජපානයේ ‘නික්කෙයි’ යනුවෙන් ද මෙම ලක්ෂණය හඳුන්වනු ලබන අතර ඉන්දීය මහායාන ශිල්ප ශාස්ත‍්‍ර ග‍්‍රන්ථ තුළ මෙම ලක්ෂණය හිස මුදුනේ ඇති ලක්ෂණය ලෙස දක්වයි (එම, 19). ඒ අනුව මහායානිකයින් උෂ්නිෂය ලෙස හඳුන්වනු ලබන්නේ හිස මුදුනේ මාංශමය හා අස්ථිමය නෙරීමක් බව හඳුනාගත හැකි අතර එය සෑම මහායානික බුදු පිළිමයකම දැකිය හැකි ය. ඒ අනුව අභයගිරි බුද්ධ ප‍්‍රතිමා සඳහා ද මෙම ලක්ෂණය පැමිණ ඇති අතර එය කේතුමාලා ලෙස හඳුන්වාදීමට වංසත්ථප්පකාසනිය උත්සහදරා ඇත. අභයගිරියේ දෙවන සමාධිය ලෙස හඳුනාගන්නා ආසනඝරයේ ඇති බුද්ධ ප‍්‍රතිමාවත්, පන්කුලිය අශෝකාරාමයේ ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාවත් මෙම ලක්ෂණ දරයි. මෙම කේතුමාලා ලක්ෂණය මහාකාල නාගරාජයා අශෝක රජු සඳහා නිර්මාණය කළ බුදු පිළිමයේ ද වූ බව මහාවංසය හා සමන්තපාසාදිකාවේ සඳහන් වේ. එසේම මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ හිස මුදුණේ සිරස්පතක් සවිකර තිබු බවට සාධක හමුවීමයි. අගල් දෙක හමාරක් තරම් ගැඹුරකින් යුත්ත සිදුරක් ඒ සඳහා බුද්ධ ප‍්‍රතිමාවේ සිරසෙහි වේ. සිරස්පත බුදු පිළිමයට එකතු වන්නේ මහනුවර යුගයේ දී වේ. එසේ නම් මෙම ප‍්‍රතිමාව මහනුවර යුගයේ දී ප‍්‍රතිසංස්කරණයට ලක් වුණා ද නැතහොත් මුල් යුගයේ සිටම පැවතියාදැයි සොයා බැලිය යුතු වේ. මෙම සිරස්පත ශිලා නොවන වෙනත් මාධ්‍යකින් පවතින්නට ඇති බවත් එය බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කළ යුගයට පසුව සිදු  කරන්නට ඇති බවත් උපකල්පනය කළ හැකි ය. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ හිස හා කෙස් දැක් වීමේ දී විභජ්ජවාදි සම්ප‍්‍රදායට අනුව යමින් දිය බින්දුවක් මෙන් රවුම් පිරිපුන් හිස හා නළල්පටක් බැන්දාක් මෙන් පිරිපුන් නළල් තලයකින් යුක්ත වේ. හිසකෙස් දක්ෂිනාවර්තව කැරකුණු බවක් හඳුනාගත හැකි ය. බුදු පිළිමයේ උර්ණරෝම ධාතුව දැක්වීම සිදු කර නොමැත. මුහුණ ඉතා රවුම් ආකාරයෙන් දක්වන අතර අඩවන් වූ දෙනෙත් තරමක් දික් වූ නාසය විශාල නොවු තොල්පෙති හා සිහින් දෙබෑම බුදු පිළිමයට පිරිපුන් භාවයක් ප‍්‍රකට කරයි.

ක්ෂේත‍්‍රයෙන් හමුවන දේව ප‍්‍රතිමා කොටස් (Archaeology Survey of Ceylon – Annual Report 1892)

බුද්ධ ප‍්‍රතිමාවේ සිවුරේ පවතින ලක්ෂණ ද ඉතා වැදගත් වේ. අනුරාධපුර යුගය නියෝජනය කරනු ලබන බුද්ධ ප‍්‍රතිමානවල වැදගත් ලක්ෂණයක් වන්නේ සිවුර ඇගටම ඇලෙන ආකාරයෙන් නිරූපණය කිරීම, ඒකාංශ පාරුපනයෙන් යුක්ත වීම ආදියයි. ඒකාංශ පාරුපන යනු එක් උරහිසක් පමණක් ආවරණය වන ලෙස සිවුර පෙරවීමයි. එය වම් උරහිස ආශ‍්‍රිතව සිදු කරයි. ලංකාවේ බුදු පිළිමවල බහුලවම භාවිත වන්නේ මෙම ක‍්‍රමයයි. වම් උරහිස හරහා වැටි ඇති චීවරය වම් අත මත එකතු කර ගනිමින් වම් කකුල මත විසුරුවා හැර තිබේ. මෙම ප‍්‍රතිමාවේ පිටුපස සිවුරේ රැලි දැක්වීම ද විශේෂ ලක්ෂණයකි. වම් උරහිස පැත්තෙන් එකතු  වන සිවුර රැලි හතරක් ලෙසින් පහළටම රැගෙව විත් එය මුල් කර ගනිමින් සිවුරේ රැලි බෙදා දක්වා ඇත. එහි දි අගල් දෙකේ සිට අගල් හතර දක්වා වන සිවුරේ රැලි නිර්මාණය කර තිබීම වැදගත් වේ. මෙවැනිම ලක්ෂණ පවතින බුද්ධ ප‍්‍රතිමාවත් අභයගිරි ආසනඝරයේ ද හඳුනාගත හැකි ය. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ පවතින මුද්‍රාව ද ඉතා වැදගත් වේ. ප‍්‍රතිමාවේ දෙ අත් දැක්වීම විශේෂ ආකාරයට සිදු කර ඇති අතර එයින් බුදුන් වහන්සේ ධර්ම දේශනාවක යෙදෙමින් කිසියම් ගැටළුවක් නිරාකරණය කරනු ලබන අන්දම නිරූපණය කරන බව විද්වත් මතය වේ. දකුණු අතේ ඇඟිලි මැදින් කැඩි ගොස් ඇතත් එයින් විතර්ක මුද්‍රාව නිරූපණය වන අතර වම් අතෙන් කටක මුද්‍රාව නිරූපණය වන බව චන්ද්‍රා වික‍්‍රමගමගේ අදහස් දක්වයි.  අනුරාධ සෙනවිරත්න දක්වන  පරිදි මෙම ප‍්‍රතිමාවේ මුද්‍රාව අභය හා ආහ්වන මුද්‍රාවෙන් යුක්ත බව සඳහන් කරයි.  මෙම ප‍්‍රතිමාව විරාසනයක් මත වැඩ සිටින අතර වර්ථමානයේ දී ඉදිකරන ලද පිඨීකාවක් මත වැඩ හිදී. බුද්ධ ප‍්‍රතිමා ලක්ෂණ අනුව මෙම බුදු පිළිමය පරණවිතානයන් දක්වන පරිදි හය වැනි සියවසට අයත් වන්නට ඇති බවත්, වනරතන හිමියන්ගේ අදහසට අනුව අටවැනි සියවසට වඩා පැරණි බවත්, ඩී.ටී. දේවේන්ද්‍ර මහාතා ක‍්‍රිස්තු වර්ෂ 4 වන සියවසට අයත් වන බවත්, වික‍්‍රමගමගේ මහතා මෙම බුද්ධ ප‍්‍රතිමාව ක‍්‍රිස්තු වර්ෂ 8 වන සියවසට අයත් වන බවත්, අනුරාධ සෙනවිරත්න දක්වන පරිදි මෙම බුද්ධ ක‍්‍රිස්තු වර්ෂ 9-10 වන සියවසට අයත් වන බව සඳහන් කරයි.

සාරාංශය

අනුරාධපුර පන්කුලිය හෙවත් අශෝකාරාමය හුදකලා පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය යනු පබ්බතාරාම ගණයට අයත් විහාර සංකීර්ණයක් වන අතර භාවනායෝගී කටයුතු සඳහා භාවිත වන්නට ඇතැයි සිතිය හැකි ය. මෙම ස්ථානය වඩා ජනප‍්‍රියත්වයට පත්වන්නේ මෙම ස්ථානයේ ඇති බුද්ධ ප‍්‍රතිමාව නිසා ය. එයට අතරව විවිධ සාධක මත පිහිටා මෙම ස්ථානය භික්ෂුණි මෙහෙණවරක් යැයි සළකන නිසා ද වේ. පෙර දක්වන ලද තොරතුරු අනුව අභයගිරි විහාරය මහායාන දර්ශනය පිළිගත් අයුරුත් මහායානික අදහස් දරන උප ආයතන බිහිකළ බවටත් සාධක හමු වේ. මෙම ආරාමය ද මහායානික අදහස් ප‍්‍රකට කළ ස්ථානයක් බව සනාථ කිරීමට කරුණු ගණනාවක් හඳුනාගත හැකි ය. අභයගිරියට ආසන්නව පැවතිම ඉන් ප‍්‍රධාන වුවත් ඒ සඳහා සාක්ෂි අවශ්‍ය වේ. එය ප‍්‍රධාන වශයෙන් ආරාමයේ පවතින සාධක හා ආසන්න කලාපයේ පවතින සාධක අනුව වර්ග කළ හැකි ය. විහාර සැලස්ම නිර්මාණය කිරීමේ දීම මහායානික ඉගැනිවීම් අනුවම මෙම විහාරය නිර්මාණය කර තිබීම වැදගත් ලක්ෂණයකි. රෝලන්ඞ් සිල්වා දක්වන පරිදි මහාවිහාර සම්ප‍්‍රධායෙන් බිදි ගොස් වනවාසිව බිහි වූ ආරාම පංචාවාස ලෙසත් එම ආරාම සැලසුම් ආර මහායාන ග‍්‍රන්ථයක් වන මංජු ශ‍්‍රී භාශිත වාස්තුවිද්‍යා ශාස්ත‍්‍රය තුළ  දක්වන පබ්බතාරාම ගණයට අයත් වන බවත් දක්වයි (මාරසිංහ, 1993:xi). පන්කුලිය ආශෝකාරාම ගෝකුලාරාම – වික‍්‍රන්ත සැලසුම අනුව නිර්මාණය කර ඇති බව වෝල්ටර් මාරසිංහ දක්වයි. මෙම ස්ථානයේ පවතින ගොඩනැගිලි සාධක දෙකක් ද එම ගොඩනැගිලි ආශ‍්‍රයෙන් ලැබුනු පුරාවස්තු ද මෙම ස්ථානය මහායානික ස්ථානයක් බවට සනාථ කරගත හැකි සාධක සපයයි. මහායානයට අනුව යක්ෂධාමය හා දිව්‍ය මණ්ඩපය ලෙස හඳුන්වන ගොඩනැඟිලිවලින්  මහායාන බුදු දහමට අයත් යක්ෂ හා දෙවි දේවතාවන්ගේ ප‍්‍රතිමා තැම්පත් කිරීම සිඳු කළ බව මාරසිංහ දක්වන අතර බෙල් විසින් 1892 වර්ෂයේ දී මෙම ස්ථානයේ සිදු කළ කැනිම් අනුව එවැනි ගොඩනැඟිල්ලක ලක්ෂණ පවතින ගොඩනැගිල්ලක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානයෙන් මහායාන දේව ප‍්‍රතිමා කොටස් සොයාගෙන ඇත (ASCAR, 1892, plate:xxviii-xxix). මෙම ලිපියෙහි මුඛය පුරාවස්තුව වන ප‍්‍රතිමාව ද මහායානික ලක්ෂන අනුව නිර්මාණය වූ බුද්ධ ප‍්‍රතිමාවක් බව ඉහත දක්වන ලද කරුණු ආනුව සනාථ වේ. ආසන්න කලාපයේ ඇති අභයගිරි විහාරයත් විජයාරාමයත් මහායානයේ ප‍්‍රධාන ස්ථාන වූ නිසාවෙන් එම ආසන්නයේම ඇති පන්කුලිය තුළින් ථේරවාදි දර්ශනය පවත්වාගෙන යාමට ඉඩ දෙන්නට ඇති බව සිතිමට නොහැකිය. පන්කුලියේ භික්ෂුණින් වාසය කලේ නම් අනිවාර්යෙන්ම මහායානික භික්ෂු ආරාමයක් ආසන්න කලාපයේ පැවතිය යුතු අතර විනය කර්ම පෙහොය කර්ම හා උපදෙස් ලබා ගැනීමත් භික්ෂුන් වාසය කරන භූමි භාගයක් තුළ භික්ෂුණින්ගේ වාසස්ථාන සකස් විය යුතු බව භික්ෂූණි පාතිමොක්ෂයේ සඳහන් වේ. එම නිසා එම අවශ්‍යතාවන් මහායානික දර්ශනය ක‍්‍රීයාත්මක වූ අභයගිරියෙන් හෝ විජයාරාමයේන් ලැබිය යුතුම වූ නිසාත් මෙම ස්ථානය මහායානික දර්ශනය වූ ස්ථානයක් වශයෙන් උපකල්පනය කළ හැකි වේ.

ආශ‍්‍රිත ලේඛන නාමාවලිය

  • මහාවංසය, (1996), (සංස්.) ශ‍්‍රි සුමංගල නාහිමි හා බටුවන්තුඩාවේ දේවරක්ෂිත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • රාජාවලිය, (1976), ඒ.වී. සුරවීර, අධ්‍යාපන ප‍්‍රකාශන දේපාර්තමේන්තුව,කොළඹ.
  • හෙට්ටිආරච්චි, (1965), සිංහල විශ්ව කෝෂය, 1 වන කාණ්ඩය, රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව.
  • මාරසිංහ, ඩබ්. (1993), මංජු ශ‍්‍රී භාශිත වාස්තුවිදයා ශාස්ත‍්‍රය, පියසිරි ප‍්‍රින්ටින් සිස්ටම්, නුගේගොඩ.
  • පරණවිතාන, එස්. (1940, 1946), පුරාවිද්‍යා ගවේෂණ වාර්ථාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • අමරසිංහ, එම්. (2010), ලක්දිව බුද්ධ ප‍්‍රතිමාව, දයාවංහ ජයකොඞ් සහ සමාගම, කොළඹ.
  • සිල්වා. ආර්, (1998), අපේ සංස්කාතික උරුමය, ද්විතික භාගය (අනුරාධපුර නගරය සහ තදාශ‍්‍රිත ආගමික සිද්ධස්තානවල වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ),
  • හේමලතා, ආර්.ඞී. (2014), අනුරාධපුර පන්කුලිය අශෝකාරාමය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • Bell, H.C.P. (1892,1892), Archaeology Survey of Ceylon Annual Report, Government Press, Colombo.
--------------------------------------------------------------------------------------------------------

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.08.30 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

--------------------------------------------------------------------------------------------------------

පොළොන්නරුවේ කඳුරුවෙල බලකොටුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් : 2009 -10 වර්ෂවල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵල

ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ

ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී හා ව්‍යාපාති කළමනාකරු, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව.

ප්‍රියන්ත කුමාර මාරසිංහ

පර්යේෂණ අරමුණ

චන්ද්‍රිකා ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් භූමියෙහි මතුපිට කිසියම් වාස්තුවිද්‍යානුකූල සැළස්මක් පෙන්නුම් කළ අතර එහි මතුපිට ගවේෂණයක් මඟින් අනාවරණය කරගත් දත්ත අනුසාරයෙන් පරිමාණානුකූල සැළැස්මක් පිළියෙල කිරීම මූලික අරමුණ විය. එහි දී හමු වූ සාධක හා පුරාවිද්‍යාත්මක කැනීමක් මඟින් ලබාගත් සාධක අනුව නිශ්චිතව හඳුනා ගැනීම දෙ වැනි අරමුණයි.

ස්ථානගත පිහිටීම

උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත‍්‍රීක්කයේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වීරපෙදෙස හා 4 ඇළ ග‍්‍රාම නිලධාරී වසම් තුළ බලකොටුව පිහිටා ඇත. GPS දත්තයන්ට අනුව බලකොටුවෙහි සිව්කොන්වල පිහිටීම පහත පරිදි වේ. ගිණීකොණදිග මුල්ල N7 55.068 E81 01.613 නිරිතදිග මුල්ල N7 55.068 E81 01.122 වයඹදිග මුල්ල N7 55.491 E81 01.114 ඊසානදිග මුල්ල N7 55.491 E81 01.611 උතුරින් පොලොන්නරුව පූජා නගරයත් නැගෙනහිරින් වර්තමාන කදුරුවෙල නගරයත් බටහිරින් වර්තමාන පොළොන්නරුව නව නගරයත් දකුණු දෙසින් වර්තමාන අලුත් වැවේ ඉහත්තාවත් බලකොටුවේ වර්තමාන සීමා වේ.

ගවේෂණ ක‍්‍රමවේදය

බලකොටුවේ ප‍්‍රමාණය

බලකොටුව කොටස් දෙකකින් යුක්ත ය. එහි ප‍්‍රධාන කොටස චතුරශ‍්‍රාකාර ගර්භයයි සිවුදිසානුගතව පිහිටි සෘජුකෝණාශ‍්‍රාකාර දොරටු අනෙක් කොටසයි. දකුණු ප‍්‍රාකාර බැම්ම නැගෙනහිර සිට බටහිරට දිග විද්‍යමාන සාධක හා භූ ලක්‍ෂණ අනුව ආසන්න වශයෙන් මීටර 870 කි. මෙය දෙපස (නැගෙනහිර හා බටහිර) දිය අගල් සහිතව මීටර 936කි. බටහිර ප‍්‍රාකාර බැම්ම දකුණේ සිට උතුරට දිග ආසන්න වශයෙන් මීටර 840 කි. දෙපස (දකුණු හා උතුරු) දිය අගල් සහිත ව මීටර 922 කි. දකුණු දිගින්වූ දෙ වැනි දිය අගල හා ජනාවාස භූමිය පළලින් මීටර 190කි. මේ අනුව බලකොටුවට යට වී ඇති සියලු බිම් ප‍්‍රමාණය ආසන්න වශයෙන් වර්ග මීටර 1,108,032කි. පර්චස් 43,813 කි. අක්කරවලින් 273කි. හෙක්ටයාර 110කි. එනම් වර්ග කිලෝමීටර 1.10ක භූමි ප‍්‍රමාණයකි. ඒ අනුව බලකොටු භූමිය සතරැස් කිලෝමීටරයකටත් වැඩි භූමියක පැතිර පවතී. උතුරු දොරටුව දිය අගල් සහිතව දිග මීටර 336ක් හා පළලින් මීටර 200කි.

බලකොටුවේ දකුණු පැත්ත වඩාත් සැළකිලිමත්ව හා ශක්තිමත් ලෙස ඉදි කළ බවට එහි ඇති සාධක අනුව බලකොටුව ඉදිකිරීමේ මූලික සංකල්පය මොනවට පැහැදිලි කරයි. ප‍්‍රධාන සතුරාගේ ගමන් මඟ ඉලක්ක කරගනිමින් සෙසු පැතිවලට වඩා ශක්තිමත් දුර්ග නිර්මාණයක් දැකිය හැකි ය. දකුණු පැති පවුරට ආසන්නයෙන් ඉදිකළ දිය අගල පළලින් මීටර 42 කි. ඉන් අනතුරුව මීටර 160 පළලැති බිම් තීරයකි. ඊට දකුණින් පළලින් මීටර 30කින් යුත් දිය අගලකි. ඔබ්බෙන් පිහිටි කොටස වැව් ජලයෙන් හෝ වගුරු බිම්වලින් යුක්ත වන්නට ඇති බව සිතිය හැකි ය. දිය අගල් දෙක අතර වූ මීටර 160ක පළලින් යුත් බිම් තීරය ආරක්‍ෂිත භූමියක් ලෙසත් ඉදිරි ආරක්‍ෂක කලාපයක් ලෙසත් පවතින්නට ඇත. වළං කැබලිති සහිත මිනිස් ක‍්‍රියාකාරකම්වලින් යුක්ත බිම් තීරයක් ලෙස හඳුනාගත හැකි මෙම කොටස මිනිස් පළිහක් ලෙස ක‍්‍රියාත්මක වන්නට ඇති බව සිතිය හැකි ය. ඒ අනුව බොහෝ විට මෙම කොටස යුද භටයන්ගේ ජනාවාසවලින් යුක්ත වන්නට ඇතැයි සිතිය හැකි ය. දකුණු පස ප‍්‍රධාන පිවිසුම් දොරටුව මෙහි නැගෙනහිර කෙළවරට වන්නට පිහිටි බවක් පෙනේ. ප‍්‍රධාන මාර්ගය එයින් දකුණු දිසාවට එනම් මහවැලි ගඟ හා අඹන්ගඟ එක්වන ප‍්‍රදේශයේ පිහිටි විල්ලු භූමිය දක්වා උස්භූමියක් ලෙස විහිද තිබූ බවට සාධක හමු වේ. බලකොටුවේ භූමි ප‍්‍රමාණය පිළිබඳව සැලකීමේ දී අනුරාධපුර ඇතුළු නුවර හා සමාන වන අතර එය පොළොන්නරුව ඇතුළු නගරය මෙන් 6 ගුණයක විශාලත්වයකින් යුතු වේ.

බලකොටුවේ ප‍්‍රාකාරය

බීජ ගොවිපල පිහිටි කොටසේ ප‍්‍රධාන පිවිසුමේ පටන් දකුණු හා බටහිර දිසානුගතව පිහිටි ඇතුළු මාර්ග පද්ධතිය විහි දී ඇත්තේ ද ස්වාභාවික උස්භූමියක් ලෙසින් දිස්වෙන පවුරු බැම්ම මතයි. ප‍්‍රාකාර බැම්ම පළලින් අඩුම ස්ථානවල මීටර 14ක්වන අතර ඇතැම් තැනෙක මීටර  16ක ප‍්‍රමාණයකින් යුක්ත ස්ථාන ද හමු වේ. සමස්ථයක් ලෙස බැම්මේ පළල මීටර 15ක් ලෙස ගතහැකි ය. තැනින් තැන සේදී යාම හා කුඹුරු අස්සද්දීම හේතුවෙන් මෙහි ප‍්‍රමාණාත්මක වෙනස්වීම් දැකිය හැකි ය. බීජ ගොවිපල කාර්යාලයේ සිට මීටර 410ක්වූ නැගෙනහිර පවුරත්  මීටර 430ක් දක්වා වූ දකුණු ප‍්‍රාකාර බැම්මත් ගොවිපල කටයුතු සඳහා ප‍්‍රවාහන මාර්ගයක් ලෙස දැනට භාවිත කරයි.

ප‍්‍රාකාර බැම්ම ඉදිකිරීම සඳහා පස් යොදා ගෙන ඇති අතර පහතම පස් තට්ටු තලා තද කොට ඇතිබවක් පෙනේ. ඉන් මතුපිට ස්තරය සඳහා යොදාගෙන තිබෙන්නේ කුඩුගල් මිශ‍්‍ර පස් තට්ටුවකි. මෙය බොහෝ විට දිය අගල කැපීමේදී පතුල මට්ටමේ දී ඉවත් කරන ලද පස් තට්ටුව විය හැකි ය. පවුරු බැම්මෙහි ඉදිකිරීම් තාක්‍ෂණය හා ක‍්‍රමවේදය පැහැදිලි කරගතහැකි සාධක දකුණු ප‍්‍රාකාර බැම්ම මධ්‍ය කොටසේ හා උතුරු බැම්මේ තැනින්තැන තවමත් දැකිය හැක උතුරු බැම්මේ නැගෙනහිර මුල්ලේ බොහොමයක් ශේෂ සාධක පැහැදිලිව දැකිය හැකි ය. මේ සඳහා දිග හතරැස් පුවරු වශයෙන් කැඞීගිය ගල් කැබලි පස් සමඟ යොදාගෙන තිබේ. හමුවන ගල් සෙන්ටිමීටර් 70 × 15 × 10 උතුරු පැත්තේ ප‍්‍රාකාර බැම්ම දිය අගලේ (වර්තමාන කුඹුරු මට්ටමේ) සිට මීටර 4 පමණ උසකින් යුක්ත ය. මෙහි දිය අගල හා පවුර අතර මීටර 8ක් පමණ වූ ප‍්‍රදක්‍ෂිණා පථය පැහැදිලිව දැකිය හැකි වේ. බොහෝවිට පස් බැම්ම මත දැව කඳන් උපයෝගී කරගෙන සකස් කරන ලද දොරකොටු හා අට්ටාල සහිත ප‍්‍රාකාරයක් ගොඩනගා තිබෙන්නට ඇත. අර්ථශාස්ත‍්‍රයට අනුව බලකොටුවේ ප‍්‍රාකාරය අඩි 36ක උසකින් යුක්ත වූවක් විය යුතු ය.

බලකොටුවේ දොරටු

බලකොටුවේ ප‍්‍රධාන දොරටුව උතුරු දිශානුගතව ඉදිකරන ලද්දකි. සමස්ත දොරටුව පළලින් මීටර 200 ආසන්න ය. දිග 336කි. මෙහි අභ්‍යන්තර කොටස සංකීර්ණ නිර්මාණ ලක්‍ෂණවලින් යුක්ත ය. වටා දිවෙන දිය අගල බලකොටුව වටා දිවෙන දිය අගලට සම්බන්ධ වන අතර දොරටුව අභ්‍යන්තරයේ ද දිය අගල් දෙකකින් සමන්විත වේ. දොරටුවේ බටහිර කොටස මීටර 125 පමණ පළලැති ගොඩබිම් තීරයකි. ඉන් අනතුරුව උතුරු දකුණු දිශානුගතව දිවෙන දිය අගල මීටර 20කි. අභ්‍යන්තර දිය අගලින් වටවූ මීටර 35 පමණ පළලැති බිම් තීරයකි. උස්බිම් තීරයේ සිට දිය අගලේ තත්වය නිරීක්‍ෂණය කළහැකි ආකාරයෙන් ඉදිකොට ඇති අතර උතුරු පසින් පිහිටි වැවෙන් පැමිණෙන්නන්ට බලකොටුවේ දොරටුව පිළිබඳව අවබෝධයක් ලබාගත නොහැකි පරිදි මංමුලා කරන ආකාරයේ දිය අගලක් ලෙස ඉදි වී ඇත.

අනෙකුත් දොරටු සෘකෝණාශ‍්‍රාකාර හැඩයෙන් යුක්ත වුවත් උතුරු දොරටුව මෙන් ඉදිවූ ඒවා නොවේ. දිගින්වැඩි පැත්ත බලකොටුවට ඈඳී තිබේ. මේවායෙහි වටා බැමි දක්නට නොමැති අතර ජලාශ‍්‍රිත හෝ වගුරු බිම්වලින් සීමාවන්නට ඇති බව පෙනේ. නැගෙනහිර පිවිසුම් දොරටුව ලෙස වර්තමාන බීජ ගොවිපලේ කාර්යාලය පිහිටි භූමිය වශයෙන් හඳුනාගත හැකි ය. මෙහි දැනට ගොඩනැගිලි පිහිටා ඇති කොටස පමණක් ශේෂව ඇති අතර සෙසු කොටස් වගාබිම් ලෙස අස්සද්දා තිබේ. බෝග සලකුණු අනුව නැගෙනහිර දොරටුවට සමාන්තරව බටහිර දොරටුවේ ලක්‍ෂණ හඳුනාගත හැකි ය. බලකොටුවේ දකුණු දොරටුව කොටස ද වගා සලකුණු අනුව හඳුනාගත හැකි අතර මෙම කොටස තුළ ගල්කණු සහිත ගොඩනැගිල්ලක සාධක මෙයින් හමු වේ.

බලකොටුවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ පිවිසුම් දොරටු බලකොටුවට ඈදා නොතිබීමයි. දොරටුව හා චතුරශ‍්‍රය අතර දිය අගලකින් සම්බන්ධය කඩකළ හැකිව තිබූ බවක් පෙනේ. දොරටුව හා පවුර අතර සම්බන්ධය සැනෙකින් බිඳිය හැකි ආරක්‍ෂිත උපක‍්‍රමයක් භාවිත වන්නට ඇති බවක් සිතිය හැකි ය. ඒ අනුව දිය අගල හරහා එසවිය හැකි හෝ එහා මෙහා කළ හැකි හකුලන පාලම් තිබෙන්නට ඇත. ක්‍ෂණික ප‍්‍රහාරවල දී මෙම උපක‍්‍රම ක‍්‍රියාත්මක කරන්නට ඇත.  නිරන්තර රැකවලෙහි යෙදුණු මුර සෙබළුන් පවුර වටා නිරන්තර සෝදිසි පරීක්‍ෂාවෙහි යෙදෙන්නට ඇති අතර පවුර මත හා බලකොටුවේ මුළුවල උස් අට්ටාල ඇසුරු කරමින් දුර සිට පැමිණෙන සතුරන් නිරීක්‍ෂණයටත් මුර සෙබළුන් යොදවා තබෙන්නට ඇත.

බලකොටුවේ ආරක්‍ෂිත දිය අගල්

බලකොටුව වටා ආරක්‍ෂිත දිය අගලකි. පවුරට යාබද ව ඉදිකළ පිට දිය අගල පළලින් මීටර 33කි. දිය අගලට වඩා මීටර 2ක් උසින් ප‍්‍රාකාරය පිහිටා තිබේ. දිය අගලෙහි දියබෙරලිය, නෙලුම් වැනි ජලජ ශාකවලින් හා ඇතැම් තැනෙක වගුරුබිම් ආශ‍්‍රිතව වැඩෙන හම්බු ශාකය දැකිය හැකි ය. තැනින් තැන ශේෂ වී ඇති දිය අගලේ එරෙනසුළු ගොහොරු සහිත බිම්කඩවල්වල ස්වභාවය අනුව දිය අගල ඉතා ගැඹුරකින් යුක්තව තිබූවක් බව පෙනී යයි.

දිය අගලේ ශේෂ කොටස්වල කුඹුරු අස්සද්දා ඇති අතර ඇතැම් තැනෙක කෙසෙල් හා කොහිල වගාවන්ද ඇතැම් තැනෙක විසිතුරු මතස්‍ය වගා සඳහා කළ පොකුණු ද දැකිය හැකි වේ. දකුණු හා උතුරු දොරටු හා මධ්‍ය කොටුව අතර ඇති දිය අගල් මීටර 42ක පළලකින් යුක්ත ය. දකුණු දිය අගලේ සිට මීටර 160ක් දුරින් මීටර 30ක් පළලැති දෙ වැනි දිය අගල දැකිය හැකි ය. මෙය දකුණු පවුරට සමාන්තරව බටහිර දෙසට විහිද ගොස් උතුරු දෙසට දිවෙයි. බීජ ගොවිපලට අයත් කොටසේ දිය අගල් තවමත් ඒ ආකාරයෙන්ම පවතී.

බලකොටුවේ අභ්‍යන්තර සැකැස්ම

බලකොටුව අභ්‍යන්තරයේ සැකැස්ම කෙසේ තිබුණේද යන්නට සාධක අල්ප ය. මන්ද යත් අඩක් පමණ කොටසක කුඹුරු අස්සද්දා ඇති අතර ඉතිරි අර්ධය සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාස වී පවතින බැවිනි. 2010 වර්ෂයේ සිදුකළ පර්යේෂණ කැනීමෙන් අ්‍යන්තර සැකැස්ම පිළිබඳ දල අදහසක් ලබා ගැනීමට හැකි විය. බලකොටුව අභ්‍යන්තරයේ ශේෂ වී ඇති එක් බිම් කඩක පර්යේෂණ කැනීමක් සිදු කිරීමට හැකි විය. ඒ අනුව බීජ ගොවිපලට අයත් කොටසේ දකුණු හා බටහිර ප‍්‍රාකාරවලට මීටර 100යක් මධ්‍යයට වන්නට කුඹුරු මධ්‍යයේ පිහිටි කුඩා බිම් කඩ තෝරා ගන්නා ලදි. මෙම කොටස කුඹුරු අස්සද්දීමේ දී ක‍්‍රම ක‍්‍රමයෙන් කැපීගොස් ගොඩැල්ල ක්‍ෂය වෙමින් තිබේ. ගඩොල් කැට සහ උළු කැට බහුල වීම නිසා කැපීමට අපහසු කොටස පමණක් කැනීම සඳහා තෝරා ගන්නා අවස්ථාව වන විට ශේෂව තිබිණි.

මෙම භූමිය දිගින් මීටර 33කි. පළලින් මීටර 10කි. එහි කැනීමෙන් හමු වූ ගොඩනැඟිලි සාධකවලට අනුව නිවරැදි ලෙස දිශානුගත කිරීමෙන් අභ්‍යන්තර ගොඩනැඟිලි ඉදිකර ඇති බව පැහැදිලි විය. බලකොටුවේ අභ්‍යන්තර ගොඩනැගිලි හා මාර්ග පද්ධතිය ඉදිකරීමේ දී යම්කිසි ක‍්‍රමානුකූලව පූර්ව සැළසුමක් අනුව කර තිබෙන්නට ඇති බවක් පෙනේ. මැද මිදුල් හා අභ්‍යන්තර ස්නානාගාර සහිත මෙම ගොඩනැඟිල්ල බලකොටුවෙහි රාජකාරියෙහි යෙදී සිටි කිසියම් ප‍්‍රභූ පුද්ගලයෙකුට අයත් වූවක් විය හැකි බව එයින් ලැබුණු සඳුන් තැටිය, සඳුන් ගල් වැනි පුරාවිද්‍යාත්මක සාධක අනුව සිතිය හැකි ය.

බලකොටුවක ලක්‍ෂණ මෙහි තිබේ ද?

කදුරුවෙල බලකොටුව නිර්මාණය කිරීමේ දී කෞටිල්‍යගේ අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන බලකොටු නිර්මාණය පිළිබඳ උපදෙස් අනුගමනය කළ බවක් හැෙඟ්. ඒ අනුව බලකොටුව දිය අගල් තුනකින් වටවිය යුතු වුවත් සතුරන්ගේ ඉලක්කගත දකුණු දිසාවෙන් පමණක් දිය අගල් නිර්මාණය කරගත් බවක් පෙනේ. දකුණු දිගින් දිය අගල් දෙකක් සහ තුන්වැන්න ලෙස වැව සම්බන්ධ කරගෙන තිබේ. මේවා සඳහා ද භූමියේ පිහිටීම අනුව යොදාගත්තා මිස නියමිත දුරවල් අනුගමනය කළ බවක් නොහැෙඟ්.

බලකොටුවක් හෝ දුර්ගයක් සැළසුම් කළ යුතු ආකාරය පිළිබදව කෞටිල්‍යගේ ආර්ථශාස්ත‍්‍රයේ දැක්වේ.  “බලකොටුවක් ගොඩනැගීම සඳහා ස්වාභාවික පිහිටීම අනුව ඉතාම යෝග්‍ය භූමිය තෝරාගත යුතුය. එය ගගකින් වටනොවූවක් නම් පහත් භූමියකින් වටවූ උස් සම භූමියක ගොඩනැගිය යුතුය.” යනාදී වශයෙන් දැක්වෙන පරිදි උස් සම භූමියක නිර්මාණය වූ ඖධක වර්ගයේ බලකොටුවක නිර්මාණ ලක්‍ෂණ මෙහි දැකිය හැකි වේ. බටහිර දොරටුව කොටස හැරුණු විට හාත්පසින්ම පහත් භූමියකින් වටවූ උස් සම භූමියක් දැකිය හැකි ය. පහත් භූමිය පුරා වර්තමානයේ පරාක‍්‍රම සමුද්‍රයේ 4 ඇලෙන් දියවර සැපයෙන කුඹුරු වේ. කවාකාර සතරැස් හෝ සෘජුකොණාශ‍්‍රාකාර හැඩයට බලකොටු නගරය ගොඩනැගිය යුතු ය. දිය අගල් තුනකින් මගින් එය වට කළයුතු බවටත් කෞටිල්‍ය උපදෙස් දී ඇත. අගල් විනාශ නොවී ශක්තිමත්ව තබා ගැනීමට ජලය රඳා තබන මට්ටම දක්වා දෙපස ගලින් හෝ ගඩොලින් බැඳ පතුල ද ගලින් බැඳීම ද යන දෙකින් එකක් කොට අවුුුරුද්ද පුරාම අගලට ජලය ලැබෙන පිළිවෙලට සකස්කොට අතිරික්ත ජලය පිටවිය හැකි පරිදි ද නිර්මාණය කර නෙළුම් හා කිඹුලන්ගෙන් ද ගහණ කළ යුතු ය. අගල්වලට පිටතින් උස්වූ ප‍්‍රාකාරයක් ගොඩනැගිය යුතු ය. එහි පළල උස මෙන් දෙගණයක් විය යුතු ය. අලින් ලවා පාගා පදනම ශක්තිමත් කළ යුතු ය. විෂ කටු ගස් රෝපණය කළ යුතු ය. අගල් කටුවැල් හා ජලයෙන් පිරවිය යුතු ය. වර්තමාන බැම්මෙහි පළල මීටර 16.46කි. (අඩි 54) එවිට පවුර උසින් මීටර 8.23ක්ව (අඩි 27) තිබෙන්නට ඇත. නමුත් අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන්නේ දිය අගල්වලට අඩි 24ක් ඇතුළතින් අඩි 36ක පවුරක් බැඳිය යුතු බවයි. ඒ අනුව මෙම පවුරෙහි සම්පූර්ණ පළලින් අඩි 24 ගියවිට ඉතිරිවන්නේ අඩි 28කි. ඒ බැම්මේ පළල ය. ඒ අනුව පවුරේ උස අඩි 14කි. පවුර වටා ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙස විවෘත භූමියක්ව තිබෙන්නට ඇත. මේ ලක්‍ෂණය බලකොටුවේ උතුරු පැති බැම්මේ ශේෂ වී ඇති ස්ථාන හමු වේ. මහාවංස විස්තරයේ අටළොස් රියන් උස පවුරු තොරණක් ගැන සඳහන්වේ. එය අවම වශයෙන් අඩිවලින් 27කි. ඒ අනුව පවුර පළලින් අඩි 52ක් විය යුතු ය. එනම් වර්තමාන බැම්මේ පළලට සමාන ය.

බලකොටුවෙහි නැගෙනහිර උතුර හා දකුණු පැති සම්පූර්ණයෙන්ම පාහේ වැව්වලින් ආරක්‍ෂා වූවකි. පවුර පාමුල දක්වාම වැව් ජලයෙන් පිරී තිබූ බව සිතිය හැකි ය. 1948 වසරේ දී අලුත්වැව නමින් නවීකරණය වූයේ පැරණි වැවෙන් කොටසකි. එය චූල මොග්ගල්ලාන හෙවත් සුළු මුගලන් විසින් බැඳ වූ දනවැව (ධනවාපී) (ම.ව.41 පරි 61 ගා) වියහැකි බව ජනප‍්‍රවාද අනුව පෙනේ. දකුණු දිශානුගත දොරටුව මධ්‍යගතව ඉදිකීරීමට නොහැකිවූයේ වැව් ජලය දකුණු පවුර දක්වාම පැතිර පැවැති නිසා විය යුතු ය. ඒ අනුව නොවැසෙන ඉතිරි සුළු බිම් තීරුවේ නිර්මාණය කොට ඇති බැවින් බව පෙනේ. මෙවැනි විශේෂතා අනුව පැහැදිලි ලෙසම බලකොටුවක ලක්‍ෂණ මෙහි දැකිය හැකි ය.

විජිතපුරය පිළිබඳ අදහස් හා මතවාද

මිහින්තලයට සැතපුම් 20ක් පමණ දකුණින් කලා වැවට මදක් උතුරෙන් (ඓ.ලේ.සං. අංක 2 පි 78-80) පිහිටා ඇති දැනට විජිතපුරය නමින් දන්නා ප‍්‍රදේශයේ පැරණි විජිතපුරය පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළහැකි බවට (අනුරාධපුර යුගය, 58 පිට) මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පමණක් කරුණු දක්වා ඇත. විජිතපුර බලකොටුව පොලොන්නරුවේ කිසියම් හෝ ස්ථානයක පිහිටි බවට අදහස් දැක්වූ විද්වතුන් කිහිප දෙනෙකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන (ලංකාවිශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය III පරි 154 පිට) හෙන්රි පාකර් (Ancient Ceylon, pp.237-9) මහාචාර්ය මංගල ඉලංගසිංහ (2006-05-28 ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපිය, රජ කාලේ උතුරු මුහුදේ නාවික සටන්) ආචාර්ය පණ්ඩිත කඹුරුපිටියේ වනරතන හිමි ඒ අතර ප‍්‍රධාන වෙති. සමස්ත අදහස් සැළකිල්ලට ගැනීමේ දී  විජිතපුරය පොළොන්නරුවේ පිහිටි ස්ථානයක් බව පැහැදිලි ය. එහෙත් ඔවුන් නිශ්චිතව ම ස්ථානය දක්වා නොමැත. 1982 ඩෙනිස් ප‍්‍රනාන්දු මහතා විසින් ගුවන් ඡායාරූපයක් ආශ‍්‍රයෙන් හඳුනාගත් සළකුණු අනුව මෙම සළකුණු විජිතපුර නටබුන් වියහැකි බවට ඉදිරිපත් කොට ඇති අදහස මෙහිලා වැදගත් ය.

පොළොන්නරුවෙහි පිහිටි බලකොටු හා විජිත නම් ශාඛාපුරයක් සම්බන්ධයෙන් සඳහන් කීපයක් හමු වේ. දුටුගැමුණු රජු විසින් ජයගත් එළාර රජුගේ විජිතපුර බලකොටුව සම්බන්ධයෙන් මහාවංසයෙහි 25 වැනි පරිච්ඡේදයෙහි දීර්ඝ විස්තරයක් ඇතුළත්ව ඇත. විජයබාහු රාජ සමයේ පොලොන්නරුවේ පැවැති බලකොටුවක් පිළිබඳව මහාවංස සඳහනට අනුව බියපත්වූ සොළිහු නුවරට පිවිස වසන ලද පුර දොර අටලු ඇසුරු කරමින් යුද්ධ කළ බවත් විජයබාහු රජුගේ සේනාවට එම සොළි බලකොටුව අල්ලා ගැනීමට මාස එක හමාරක් පමණ ගත වූ බවත් සඳහන්වේ (ම.ව. 58 පරි. 54 ගා.). විජයබාහු රජු විසින් ජයගත් සොළී බලකොටුව පිළිබඳව ඉන් සඳහනක් නොමැත.

ඉන්පසුව ගජබාහු රජු කාලයේ ද සියලු ආරක්‍ෂා සංවිධානයෙන් යුක්ත වූ බලකොටුවක් පිළිබඳව සඳහන්වේ. පරාක‍්‍රමබාහු රජු විසින් ගජබාහු රජුගේ බලකොටුවේ දොරටු අටලු හා බිහිදොර බිඳීමට අදහස් කළ බවත් ඉන්පසු බලකොටුවෙන් පිටත දී සිදුවූ සටනක දී පරාජයට පත්වූ ගජබාහු රජු තම පුරයට වැදී දොර අගුලු ගන්වා ආරක්‍ෂා වූ බවත් වාර්තා වේ. එහි දී පරාක‍්‍රමබාහු රජුගේ හමුදාව බලකොටුවේ පවුරු අටලු (අට්ටාල) හා දොරටු බිදීමට පටන් ගත්විට පුරයේ සිටි චරපුරුෂයන් දොර විවෘත කොට දී ඇත.  පොලොන්නරු සමය වනවිට ප‍්‍රධාන නගරයට ආසන්නයෙන් පිහිටි රාජවේශීභුජංග සිංහපුර ආදී ශාඛා නගර අතර විජිතපුරය ද තිබූ බව වංශකතාවේ සඳහන්වේ. පරාක‍්‍රමබාහු නරේන්ද්‍රතෙම විජිත නම් ශාඛාපුරයෙහි වේළුවන නම් වෙහෙරක් ද කරවූයේ ය. එහි මනෝඥ වූ පිළිම හා සිතියමින් බැබලි තුන්මහල් පිළිම ගෙවල් තුනක් ද දාගැබක් ද සක්මන් මළුවක් ද දෙමහල් පහයක් ද දොරකොටු සතරක් ද දිගුපහ තුනක් ද සුලුපහ අටක් ද එක් බොජුන් හලක් ද එසේම එක් ධර්ම ශාලාවක් ද ගිනිහල් සතරක් ද වැසිකිලි දොළසක් ද වූ බව සඳහන්වේ.

නිගමනය

පොළොන්නරුවේ පිහිටි මෙම බලකොටුව පොලොන්නරුවේ පිහිටියේ නම් නිශ්චිතවම හඳුනාගැනීම පිළිබඳව ඇති වූ කුතුහලය මත 2009 වසරේ සිට සිදුකළ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය මගින් තහවුරු කරගන්නා ලදි. ඒ අනුව මතුපිට ගවේෂණය තුළින් අනාවරණය කරගත හැකි වූ සාධක අනුව පැහැදිලිවම බලකොටුවක ලක්‍ෂණ දැකගත හැකි විය. ඒ අනුව මෙය එළාරගේ දෙතිසක් බලකොටු අතරින් ප‍්‍රධාන වූ විජිතපුර බලකොටුව ද? විජයබාහු ජයගත් සොළි බලකොටුව ද? නැතහොත් ගජබාහු රජු බලකොටුව ද? පරාක‍්‍රමබාහුගේ විජිත නම් ශාඛාපුරය ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයට මෙතෙක් එළඹ නැත. එහෙත් බලකොටුවෙහි කාලය හා කර්තෘත්වය නිශ්චිතව හඳුනා ගැනීමේ දී මෙතෙක් සිදු කොට ඇති පර්යේෂණයන්හි ප‍්‍රමාණාත්මක නොවීම ප‍්‍රධාන ගැටලුවකි. 2010 වසරේ කළ පර්යේෂණ කැනීමට අනුව අභ්‍යන්තර ගොඩනැගිලි සඳහා භාවිත ගඩොල්වල ප‍්‍රමාණයන් හා ඉදිකිරීම් තාක්‍ෂණය පිළිබඳව සැළකීමේ දී අනුරාධපුර මුල් අවධියට අයත් ඒවා බවට හඳුනාගත හැකි විය. හමු වී ඇති උළු හා මැටි බඳුන් ද මීට සාපේක්‍ෂ ය. මෙතෙක් සිදු කොට ඇති පර්යේෂණයන්ට අනුව පොලොන්නරු යුගයේ දී බලකොටුව භාවිත වූ බවට සාධක ලැබී නොමැත. පොලොන්නරුව හා සම කාලීන නිර්මාණාත්මක ලක්‍ෂණ ද දැකිය නොහැකි  හෙයින් මෙය අනුරාධපුර මුල් අවධියට අයත් බවට නිගමනය කළ හැකි ය. ඒ අනුව ඉහත දැක්වූ විජිතපුරය පිළිබඳ අදහස් හා මතවාදවලට අනුවත් වංශකතාගත සඳහන්වලට හා කැනීමෙන් ලද ද්‍රව්‍යාත්මක සාධකවලටත් අනුව මෙම සාධක විජිතපුර බලකොටුවේ වීමට බොහෝදුරට ඉඩ තිබේ.

මෙම කැනීම එවකට පොලොන්නරුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල මහාචාර්ය අනුර මනතුංග මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

ආශ‍්‍රිතග‍්‍රන්ථ

  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2010), කදුරුවෙල බලකොටුව ගවේෂණය හා පර්යේෂණ  කැණීම, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොලොන්නරුව ව්‍යාපෘතිය.
  • ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය I කාණ්ඩය iii (1964),  පරි. දුටුගැමුණු රජුගේ ජයග‍්‍රහණය, සෙනරත් පරණවිතාන, විද්‍යාලංකාර මුද්‍රණාලය
  • සිංහල දීපවංශය (1997), චන්ද්‍රදාස කහඳවආරච්චි, එස් ගොඩගේ
  • වංසතථප්පකාසිනී, මහාවංස ටීකාව (1994), සිංහල අනුවාදය, අකුරටියේ අමරවංස නාහිමි, හේමචන්ද්‍ර දිසානායක, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, විද්‍යාලංකාර මුද්‍රණාලය.
  • Parker, H. Ancient Ceylon,
  • මහාවංසය I, II, (1996) ශ‍්‍රී සුමංගල හිමි, හික්කඩුවේ, බටුවන්තුඩාවේ,  දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
පරාක‍්‍රම සමුද්‍රයට සාපේක්‍ෂව බලකොටුවේ පිහිටීම හා ආරක්‍ෂිත වැව් පද්ධතිය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්
ගවේෂිත භූමියේ විද්‍යමාන සාධක අනුව සකස්කළ බලකොටුවේ පරිමාණානුකූල සැළැස්මක්
බලකොටුවේ චන්ද්‍රිකා ඡායාරූපයක්
කැනීම් භුමිය පෙර, පසු හා කැනීම් අතරතුර ලැබුණු පුරාවස්තු හා බලකොටු භූමිය ලක්වී ඇති අවදානම් සහගත තත්වය
ශේෂ වී ඇති කුඩා භූමියේ කැනීමෙන් මතුකරගත් වාස්තුවිද්‍යාත්මක සාධක

 

-------------------------------------------------------------------------------------------------------

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017 අගෝස්තු 18 වැනි දින ප‍්‍රකාශයට පත් විය.

--------------------------------------------------------------------------------------------------------

ශ්‍රි ලංකා පුරාවිද්‍යා දැනුම උරගා බලන්න

ඔබගේ ශ්‍රී ලංකා පුරාවිද්‍යාව පිළිබඳ දැනුම උරගා බැලීමට කදිම අවස්ථාවක්….

[viralQuiz id=2]

ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන් (පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ විමසුමක්)

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශි‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ෙහා්මාගම.

baragamasaddhananda@gmail.com

සංකේෂ්පය

ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවක් බව විද්වත් පිළිගැනීම යි. ලෝක මැටි බඳුන් නිෂ්පාදනයේ සකපෝරුව සොයා ගත් ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුනා ගැනීම ද ඒ අතර විශේෂ වේ. ආසියානු කලාපයේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව පැරණිම සාධක අදින් වසර 12,000ක් පැරණි බව විද්වත් පිළිගැනීමයි. යුරෝපය වාසය කළ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා ආසියාතික කලාපයට විසරණය වීමත් සමග මැටි බඳුන් තාක්‍ෂණය ද සංක‍්‍රමණය වන්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ දී සම කාලීන වේ. ඇතැමෙක් එය නවශිලා යුගයේ සිදුවූවක් බව තර්ක කළ ද පිළිගැනීමට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් නොමැති තරම් ය. දකුණු ඉන්දියානු කාල රක්ත මැටි බඳුන් හා සම කාලීන ව ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය සිදු වූ බව පිළිගැනීම යුක්ති සහගත ය.

මුඛ්‍ය පද : නියොලිතික යුගය, සකපෝරුව, ශී‍්‍ර ලංකාව, මැටි බඳුන්, ගෙඩිගේ කැනීම

හැඳින්වීම

පරිසරය හා මිනිසා අතර පවතින්නේ අත්‍යන්තයෙන් බැදුණු සංකීර්ණ සබඳතාවකි. සමාජය තුළ චර්යාත්මක ගුණාංග සහ සමාජ ගතිකයන් ගොඩනැඟීමට පරිසරය තීරණාත්මක සාධකයක් වීම ඊට හේතුවයි. පරිසරය සමග අත්‍යන්තයෙන් බැදුණු අතීත මිනිසා කල්යත්ම තම දෛනික අවශ්‍යතාවන්  පූරණය කර ගැනීමට උත්සාහ කිරීමේ දී තාක්‍ෂණය හා බැදුණු නිර්මාණශීලී හැකියාව මගින් යම් යම් නිෂ්පාදන බිහිකිරීමට සමත් විය. එකී නිර්මාණ අතර සරල මට්ටමේ සිට සංකීර්ණ සකපෝරුව දක්වා නිර්මිත මැටි බඳුන් අපූර්වතම මානව කෘති ලෙස හඳුනා ගත හැකි ය.

පර්යේෂණ ගැටලුව

මානවයා ශිෂ්ටාචාර ගතවීමත් සමග නිර්මිත මැටි භාණ්ඩ හා බද්ධ වූ කුඹල් කර්මාන්තය මානව ඉතිහාසයේ වර්ධනීය තාක්‍ෂණ අංගයක් ලෙස හදුනාගැනීම නිවැරදි ය. නියොලිතික යුගයේ ආරම්භයේ සිට මිනිසාගේ බුද්ධිය හා නිර්මාණශීලීත්වය මත මැටි නිෂ්පාදන මානව කටයුතු සදහා යොදා ගත්ත ද, මැටි කර්මාන්තයේ ආරම්භය හා විසරණය පිළිබදව කරුණු නිශ්චිත නැත. ඇතැමෙක් ලෝක මැටි බඳුන් නිශ්පාදනය හා භාවිතය යුරෝපයේ සිදු වූවක් ලෙස පැහැදිලි කරන අතර තව පිරිසක් සියලු කලාපවල සම කාලීන ව පැවති තාක්‍ෂණික හඳුනාගැනීමක් ලෙස අර්ථ දක්වයි. ද්‍රව්‍යාත්මක සාධක මත පදනම්ව අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ දරන පුරාවිද්‍යාඥයාට බහුලව හමුවන  සහ වැදගත් සංස්කෘතික වස්තුවක් ලෙස මැටි බඳුන් සඳහන් කළ හැකි අතරම, ලෝකයේ බොහෝ පුරාවිද්‍යාඥයින් තම පර්යේෂණ අර්ථකථන සඳහා මැටිබදුන් යොදාගන්නා ආකාරය දැකගත හැකි ය.

ක‍්‍රමවේදය

මෙම පර්යේෂණයේ දත්ත රැස්කිරීම සඳහා සමාජ විද්‍යා අධ්‍යයනවල දී යොදාගනු ලබන දත්ත රැස්කිරීමේ විධික‍්‍රම කිහිපයක් භාවිත කරන ලදී. මෙහි දී ගුණාත්මක දත්ත රැස්කිරීම සඳහා පළමුවෙන්ම සාහිත්‍ය මූලාශ‍්‍රය පරිශීලනය කරන ලදී. ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී නිරීක්‍ෂණය, සහභාගිත්ව නිරීක්‍ෂණය, සම්මුඛ සාකච්ඡා හා කේවල අධ්‍යයන ආදී විධික‍්‍රම යොදා ගන්නා ලදී.

අරමුණ

මෙම ලිපියෙහි මූලික අරමුණ ශී‍්‍රලංකාවේ පුරාණ  මැටි බඳුන් භාවිතය පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක මඟින් තොරතුරු අධ්‍යයනය කිරීමයි. මෙහි දී යුරෝපියානු කලාපයේ සහ ආසියානුකලාපයේ පැවති මැටිබඳුන් සම්ප‍්‍රදායන් පිළිබදව ද සංක්‍ෂිප්තව කරුණු අධ්‍යනය කිරීම සිදු කරනු ලබයි. අධ්‍යයනයේ පහසුව සදහා භූගෝලීය වශයෙන් පහත පරිදි වර්ගීකරණයන් ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම සිදු වේ.

  • යුරෝපියානු කලාපයේ මැටි බඳුන් භාවිතය
  • ආසියානු කලාපයේ මැටි බඳුන්
  • ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන්

ප්‍රතිඵල හා සාකච්ඡාව : යුරෝපියානු කලාපයේ මැටි බඳුන් භාවිතය

යුරෝපියානු කළාපයේ මැටි බඳුන් පිළිබද විමසීමේ දී පැරණි ශිෂ්ටාචාර වෙත අවධානය යොමු කිරීම වැදගත් වෙයි. එහි දී ඊජිප්තුව, මෙසපොතේමියාව, පලස්තීනය, ඇනටෝලියාව හා සයිප‍්‍ර‍්‍රසය ආදී රටවල් සදහන් කල හැකි ය (Encyclopedia of word Art 1960:221). ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් මැටි බඳුන් පිළිබද අවධානය යොමු කිරීමේ දී නවශිලා අවධිය නියෝජනය කරන කෝප්ප, සෘජුකෝණාස‍්‍රාකාර තැටි මෙන්ම විශාල ප‍්‍රමාණයේ කේතල මධ්‍ය ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇත (Encyclopedia of word Art 1960:221). මෙම මැටි භාණ්ඩ නිපදවීම සඳහා නයිල් නිම්නය ආශ‍්‍රිත මැටි භාවිත කළ බව පර්යේෂණවලින් සනාථ වේ (අමරසිංහ 2004:87). ඊජිප්තු ජනතාව තාක්‍ෂණය පදනම් කරගනිමින් සකපෝරුව නිර්මාණය කිරීම හා මැටි බඳුන් නිපදවීම සදහා සක පෝරුව භාවිත කිරීම ද දැකගත හැකි ය. ඒ අනුව සකපෝරුව නිර්මාණය කරන ලද ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුන්වනු ලැබේ (සෙනෙවිරත්න 2008:9).

ක්‍රිස්තු වර්ෂ 1,500 සිට ක්‍රිස්තු වර්ෂ 1879 දක්වා පුරාණ මැටි බදුන් සම්බන්ධයෙන් සිදුකර ඇති පර්යේෂණ කලාත්මක ප‍්‍රකාශන කෙරෙහි අවධානය යොමු කරමින් සිදුව ඇත. Ebendofer විසින් Stockerou ප‍්‍රදේශයෙන් සොයාගත් ප‍්‍රාග් ඓතිහාසික මැටිබඳුන් පිළිබඳ සිදුකර ඇති පර්යේෂණයන් සමඟ මැටි බදුන් අධ්‍යනය 15 වැනි සියවස දක්වා පැරණි බව කියැ වේ (දිසානායක 2005:129). ක්‍රිස්තු වර්ෂ 16 – 17 සියවස පමණ වන විට මැටි බඳුන් පිළිබද අධ්‍යනය සුසාන මැටි බදුන් කෙරෙහි යොමු වී ඇත (දිසානායක 2005:129). ක්‍රිස්තු වර්ෂ 18 වැනි සියවස පුරාවස්තු එක්රැස් කරන අවධියක් වන අතර, කලාත්මක භාවය ගැන සලකා මැටි භාණ්ඩ එක්රුස් කිරීමට යොමුව ඇත. මෙම අවධියේ දී යුරෝපයට පමණක් සීමා වී තිබු මැටි බඳුන් අධ්‍යනයන් චීනය ජපානය ආදී පෙරදිග රටවල් කෙරෙහි ද යොමු වී ඇත (දිසානායක 2005:129). පිට් රිවර්ස් ගේ පර්යේෂණවල ප‍්‍රථිපලයක් ලෙස එතෙක් පැවති අධ්‍යයන රාමුවට වඩා වෙනස් අයුරකින් වර්ගීකරණය සදහා මැටි බදුන් යොදා ගැනීම සිදුවිය. මේ සඳහා 1880 දී ප‍්‍රංශය, ජර්මනිය, බි‍්‍රතාන්‍ය වැනි රටවල සිදුකරන කැනීම් මගින් ලබාගත් මැටි බඳුන් යොදාගත් බව පෙනේ (දිසානායක 2005:129). ක්‍රිස්තු වර්ෂ 1854 දි පමණ roach Smith විසින් ලන්ඩන් කෞතුගාරයේ මැටි බඳුන් පිළිබදව වර්ගීකරණයක් සිදුකර ඇති අතර ප්ලින්ඩර්ස් ෙප්ට්‍රි විසින් ද මෙම අවධියේ දී ම පලස්තීනයේ සිදුකරන ලද කැනීම්වලින් ලත් ග‍්‍රීක රෝමානු සහ යුදෙව් මැටි භාණ්ඩ සම්බන්ධයෙන් ස්තරානුකූල කාල රාමුවක් සකස්කොට ඇත (දිසානායක 2005:130). ක්‍රිස්තු වර්ෂ 1956 වන විට යුරෝපයේ මැටි බදුන් අධ්‍යයනයේ විශාල පරිවර්තනයක් සිදු විය. අැනා ෙෂපර්ඩ්  විසින් රචනා කරන ලද පුරාවිද්‍යාඥයන් සඳහා මැටි බඳුන් නම් ග‍්‍රන්ථය කාලනිර්ණය සදහා මැටි බඳුන් අධ්‍යයනය කිරීමල තාක්‍ෂණික ශිල්ප ක‍්‍රමල ද්‍රව්‍ය හදුනා ගැනීම, භෞතික හා රසායනික ගුණාංග හදුනාගැනීම පිළිබද අවධානය යොමු කර තිබේ (Sheperd 1956:102).

1985 කාලය වන විට සංසන්ධනාත්මක අධ්‍යයනයන් සඳහා මානවංශ විද්‍යාත්මක න්‍යායන් භාවිත කිරීම ආර්නෝල්ඩ් විසින් සිදුකොට ඇත. මොහු පේරු, ගෝතමාලා, මොක්සිකෝ වැනි ගෝත‍්‍රික ජන කණ්ඩායම් හා සංසන්ධනය කරමින් පුරාතන මැටි බඳුන් අධ්‍යයනය කිරීම දැකගත හැකි ය (Arnold 1985). මීට අමතරව යුරෝපයේ බොහෝ රටවල මැටි බදුන් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර ඇති අතර පොදුවේ පර්යේෂණ දත්ත විශ්ලේෂණය කිරිමේ දී පැහැදිලි වන්නේ මැටි බදුන් නිර්මාණයට හා භාවිතයට මිනිසා නව ශිලා යුගයේ දී යොමු වන්නට ඇති බවයි. එසේ ආරම්භ වූ යුරෝපියානු කලාපයේ මැටි බඳුන් පසුව ආසියාතික කලාපයට ව්‍යාප්ත වන්නට ඇත.

ආසියානු කලාපයේ මැටි බඳුන්

යුරෝපියානු කලාපයේ සිට සංක‍්‍රමණය වූ මානව කණ්ඩායම් ලොව පුරා පැතිර යාමත් සමග ආසියාතික කලාපයේ ද ජනාවාස පිහිටුවා ගන්නා ලදී. එහි දී විවිධ සංස්කෘතීන් බිහි වූ අතර මැටි බඳුන් තාක්‍ෂණය ද ඒ අතර ප‍්‍රධාන වේ. ආසියාවේ පැරණිතම මැටි බඳුන් සාධක කමිකුරයිවා (kamikuroiwa) ගුහා ක්ෂේත‍්‍රයේ 9 වන ස්තරයෙන් ලැබේ. මෙම මැටි බදුන් අදින් වසර 12,000 පැරණි බව පිළිගෙන ඇත. එසේම මෙය ජෝමෝන් (jarmon) සම්ප‍්‍රදායේ ආරම්භක අවස්ථාව ලෙස සැලකේ (සෙනෙවිරත්න 2008:6). ආසිියාතික කලාපයේ පැරණි මැටි බඳුන් සාධක පෙරදිග රුසියාවේ මුස්කිනොව්සා (Muskinousa) වලින් ද හමු වී ඇත. ඒවා ද අදින් වසර 12,000ක් පැරණි බව හදුනාගත හැකි ය. දකුණු චීනයේ ස්වතන්ත‍්‍ර ප‍්‍රදේශයේ වලං කැබලි හා පූර්ණ ලෙස හමුවූ බඳුන් අදින් වසර 15,000-16,000ක් පැරණි බව හඳුනාගෙන තිබේ (සෙනෙවිරත්න 2008:7).

ආසියාතික මැටි බඳුන්  අධ්‍යයනයේ දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වැදගත් වේ. මෙම මැටි බඳුන් අධ්‍යයනයේ දී මධ්‍යශිලා අවධිය නියෝජනය කරනු ලබයි. ඉන්දියාවේ මධ්‍ය ශිලා යුගය පිළිබද කාලය අදින් වසර 10,000ත් ක‍්‍රිස්තු පූර්ව 20,000ත් දක්වා ගමන් කරයි (Allchin Ramond 1968). මෙම යුගයට සම්බන්ධ මැටිබඳුන් බහුල වශයෙන් ලැග්නායි ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ඒවා සම්බන්ධයෙන් වර්ගීකරණයක් ද සිදු කොට ඇත(Allchin Ramond 1968).

  • පිලිස්සූ රතු බඳුන් (Red Ware)
  • පිලිස්සූ රතු කළු බඳුන් (Black & Red ware)
  • තද රතු බඳුන් (Dark Red ware)
  • සරල බඳුන්  (Simple ware)

ඉන්දියාවේ නවශිලා යුගය ආශ‍්‍රිතව ද මැටි බඳුන් සංස්කෘතින් කිහිපයක් හමු වේ. එනම්,

  • උතුරු දිග ඉන්දියානු නවශිලා සංස්කෘතිය
  • නැගෙනෙහිර ඉන්දියානු නවශිලා සංස්කෘතිය
  • දකුණු ඉන්දියානු නවශිලා සංස්කෘතිය
  • වින්ද්‍යා නවශිලා සංස්තෘතිය යනුවෙනි (Battacharya 1990:113-119).

උතුරු ඉන්දිය කාශ්මීර මිටියාවත ආශි‍්‍රත බුරුෂාහෝම්හි අනාවරණය කරගත් පළමු වැනි ස්තරය නවශිලා යුගයේ මුල් අවධිය නියෝජනය කරන අතර එම ස්තරයේ මැටියෙන් කරන ලද ඝණකමින් වැඩි නොදියුණු තත්ත්වයෙන් පදම් කරන ලද පිලිස්සූ වලං හමු වී ඇත. මෙම වලං නිර්මාණය කිරීමේ දී මැටි දගර ලෙස සකසා නිර්මාණය කර අනතුරු ව පැදුරු මත තබා වියලීම සිදුකොට ඇත (Battacharya 1990:113 -119). මෙම නිර්මාණවල සැරසිලි දක්නට ලැබෙන්නා සේම බොහෝ බඳුන් අළු හා දුඔුරු පැහැයක් ගනී. ඊට අමතරව මෙම තත්වෙය්  දියුණු කාළ වර්ණ හා රක්ත වර්ණ මැටි බඳුන් අවශේෂ බ‍්‍රහ්මගිරි හි දෙ වැනි ස්තරයෙන් ද ලැබේ (Battacharya 1990:121-122). ඉන්දිය නාල් (Nal) ප‍්‍රදේශයෙන්ද ශාක සත්ත්ව හා ජ්‍යාමිතික රටා සහිත මැටි බඳුන් සාධක සොයා ගැනීමට සමත් විය. මෙසේ අනාවරණය වූ දත්ත හරහා ඉන්දු නිම්න පූර්ව හරප්පා සභ්‍යත්වය තුළ හමු වූ මැටි බඳුන් පහත පරිදි වර්ගීකරණයකට ලක්වේ (Battacharya 1990:121-122).

  • ක්වේතා මැටි බඳුන්
  • ෂෝබි සංස්කෘතිය
  • අමිරි නාල් මැටි බඳුන්
  • කාලිබංගන් මැටි බඳු

දකුණු ආසියාවේ මැටි බඳුන් වර්ණාලේප කිරීමේ ආරම්භය ද ප‍්‍රාග් හරප්පා යුගයට අයත් බව පැහැදිලි ය. ඒ බව ඉහතින් සදහන් කළ සංස්කෘතීන්ට අයත් මැටි බඳුන්වලින් සනාථ වේ (Sankalia 1974). ඊට අමතරව නාල්, කුල්ලි, මේහි, කොත්දිිජි, සුර්කොත්දා, සෝමනාත් මොහොන්ජෝදාරෝ රාත්ග්පූර් ආදී ස්ථානවල ද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වර්ණාලේපිත මැටිබඳුන් සොයාගෙන ඇත(Sankalia 1974). ඉන්දියාවේ පශ්වාත් හරප්පා සංස්කෘතික ලක්‍ෂණ සහිත ස්ථාන කිහිපයකින් ද වර්ණාලේපිත මැටිබඳුන් සොයාගෙන තිබේ. මෙම අවධියට අයත් හරප්පාවේ H සොහොන් භූමියේ දක්නට ලැබෙන විශාල මුට්ටිවල කළු පැහැ විවිධ මෝස්තර හා සත්ව රූප ඇද ඇත. බටහිර ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රදේශයේ බනාස් සංස්කෘතියට අයත් (ක‍්‍රි.පූ. 2,000-1,000) කළු රතු මැටි බදුන්වල සුදු වර්ණයෙන් මෝස්තර ඇද ඇත (Sankalia 1974).

උතුරු ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශය දිල්ලිය, පටේලා ආදී ප‍්‍රදේශවලට අයත් ස්ථාන 30කින් පමණ වර්ණාලේපිත මැටි බඳුන් හමු වේ. අළු පැහැති වර්ණාලේපිත බඳුන් ලෙස හඳුන්වා ඇති මේවා මෝස්තර බහුල වශයෙන් කළු පැහැයෙන් හෝ රතු පැහැයෙන් ඇඳ ඇත (Ghosh 1946:37-59). ඩෙකෑන් ප‍්‍රදේශයේ බ‍්‍රහ්මගිරි කැනීමෙන් වර්ණාලේපිත මැටි බදුන් සහිත සංස්කෘතික අවධි දෙකක් සොයාගෙන ඇත. මෙහි දී බ‍්‍රහ්මගිරි සංස්කෘතික අවධියට අයත් බඳුන්වල (ක‍්‍රි.පූ. 1,000-200) තද ගුරු චොක්ලට් කළු සහ දුඹුරුවන් දම්පැහැ වර්ණකවලින් තිරස් සහ ඇල රේඛා ඇද තිබේ. ආන්ද්‍රා සංස්කෘතික අවධියට අයත් බඳුන්වල (ක‍්‍රි.ව. 50-300) අළු පැහැ සහ කළු රතු බඳුන්වල කහ වර්ණක ආලේපකර ඇත (Wheelar 1947:180-310).

සෙන්ටිමීටර් 60.5ක් උස අනුරාධපුර යුගයට අයත් රක්තවර්ණ මැටි මෙවළමක් (මෙම ඡායාරූපය http://www.customs.gov.lk වෙබ් අඩවියෙන් ලබාගන්නා ලද බව කාරුණික ව සලකන්න.)

ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන්

මැටි බඳුන් නිර්මාණකරණය හා භාවිතයේ ඉතිහාසය පිලිබද සාධක යුරෝපානු කලාපයේ මෙන්ම ආසියාතික කලාපයේ ද දක්නට ලැබේ. මෙසේ ව්‍යාප්ත වූ මැටි බඳුන් ඉන්දියාව හරහා ශී‍්‍ර ලංකාව දෙසට ද ව්‍යාප්ත වන්නට ඇති බව අනුමාන කළ හැකි ය. ලෝක ඉතිහාසයේ මැටි කර්මාන්තය ආරම්භ වූ නව ශිලා යුගයේ ම ලක්දිව මැටි කර්මාන්තය ආරම්භ වි ඇති බව විද්වතුන්ගේ මතය වුවත් මෙරට ස්ථාන කිහිපයක සිදුකර ඇති පර්යේෂණ මගින් එකී අදහස සත්‍යය නොවන බව පැහැදිලි වේ. ඒ අනුව ලක්දිව මැටි කර්මාන්තය ආරම්භය පිළිබද සාධක නිශ්චිත නොවුන ද, දකුණු ඉන්දියානු කාල රක්ත වර්ණ මැටි බඳුන් හා සම කාලීන ප‍්‍රභවය වු බව පූර්ව පර්යේෂණ සාධක අනුව උපකල්පනය කිරීම නිවැරදි ය (Senavirathna 1984:285,286). ලක්දිව මැටි බඳුන් භාවිතයේ ආරම්භක අවධිය පිළිබදව විමසා බැලීමේ දී අනුරාධපුර ඇතුළු නුවර ගෙඩිගේ කැනීම වැදගත්ය. මෙම කැනීමෙන් ශිලා යුගයේ සිට ඓතිහාසික යුගය තෙක් අනාවරණය නොවී පැවති සාධක බොහෝමයක් සොයාගැනීමට අවස්ථාවක් ලැබුණි. මෙහි ස්තර වින්‍යාසය අධ්‍යයනය කිරීමේ දී පළමු ස්තරය මධ්‍යශිලා යුගය නියෝජනය කරන අතර දෙ වැනි ස්තරය ශූන්‍ය ස්ථරයක් බව හදුනාගෙන ඇත. තෙ වැනි ස්තරය කොටස් දෙකක් යටතේ වර්ග කර ඇති අතර 3A ස්ථරයෙන් ලක්දිව මූල ඓතිහාසික යුගයට අයත් මැටි මෙවලම් පිලිබඳ ව සාධක ලැබේ. ඒවායේ මෙගලතික සංස්කෘතියට අයත් පුරාවිද්‍යාත්මක ශේෂයන් අතර කාලරක්ත වර්ණ මැටි බඳුන් හා සම්බන්ධකාරයක් දක්වනු ලැබේ. මෙම මෙගලතික සංස්කෘතියට අයත් මැටි බඳුන් අවශේෂයන් හි මුල් චිත‍්‍රාක්‍ෂර සටහන් කර ඇත. ඒවායෙන් පෞද්ගලික නාම පිළිබදව යම් අදහසක් ලබාදෙන බව විද්වත් මතයයි (Deraniyagala 1972:106-122).

මෙම කැනීමේ දී හමු වූ මැටි භාණ්ඩ සිරාන් දැරණියගල විසින් වර්ගීකරණයකට ද ලක්කරනු ලැබ ඇත (Deraniyagala 1972:106-122).

  • කාල රක්ත වර්ණ මෙවලම් (Black & Red ware)
  • කාල වර්ණ මෙවලම් (Black ware)
  • රක්ත වර්ණ මෙවලම් (Red ware)
  • සියුම් රතු බඳුන් (Red ware)
  • රතු ආලේපිත බඳුන් (Red Painted ware)
  • ලා රතු තද අළු මැටි බඳුන් (Light Red Grey ware )
  • කහ වර්ණ ආාලේපිත බඳුන් (Yellow Painted Ware)
  • මෝස්තර සහිත බඳුන් (Decorated Ware)
  • දුඹුරු පැහැති බඳුන් (Buff ware)

ලක්දිව ප‍්‍රාග් ඓතිහාසික කැණිම් සිදුකළ ඩබ්.එච්. විජේපාල විසින් 1991 දී සිදුකරන ලද දොරවකකන්ද කැනීමත්, 1992 වර්ෂයේ ටී. අාර්. පේ‍්‍රමතිලක මූලිකත්වයෙන් කරන ලද හෝර්ටන්තැන්න කැනීම තුළින්ද ලක්දිව මැටි බඳුන් පිලිබද තවත් මතයක් ඉදිරිපත් කොට ඇත. දොරවක්කන්ද කැනීම මගින් වගා කරන ලද ධාන්‍ය වර්ග ලෙස සැලකිය හැකි අවශේෂ සමග මැටි බඳුන් සොයාගෙන ඇත. ඒවා ක‍්‍රිස්තු පූර්ව 5,250 ට පෙර භාවිත කළ ඒවා බව සැලකේ (දැරණියගල 1991.10). මැටිබඳුන් පිළිබද වැදගත් සාධක ලැබෙන කැනීමක් ලෙස බලංගොඩ දියවින්න ප‍්‍රදේශයේ උඩුපියන් ගල්ලෙන හදුනාගත හැකි ය. අවධි දෙකකට අයත් ස්තර සහිත මෙහි පළමු අවධියේ අතින් නිර්මාණය කර අව්වේ වියලාගත් මැටි බඳුන් හමුවන අතර දෙ වැනි අවධියේ සකපෝරුවේ නිර්මාණය කරන ලද වර්ණාලේපිත මැටි බදුන් හමු වේ. රතු සහ කළු වර්ණවලින් බඳුනේ පිටත වර්ණාලේප කර ඇති අතර පැදුරු හෝ වේවැල් භාජනයක මෝස්තර ආකාරයෙන් මුද්‍රා දක්වා ඇත (Deraniyagala 1957:1-24). ඊට අමතරව කොල්ලන්කනත්ත ප‍්‍රදේශයේ සිදුකර ඇති පුරාවිද්‍යා ගවේශනයක දී මුට්ටියක හෝ කළයකට අයත් මධ්‍ය වයනයක් සමග සුදු නිර්මිතයක් ඇති ගැටි කැබැල්ලක් සොයාගෙන ඇත. මෙය ලක්දිව වර්ණාලේපිත මැටි බඳුන් අධ්‍යනයේ දී වැදගත් සොයාගැනීමක් බව සඳහන් කළ හැකි ය (Deraniyagala 1972:118).

මැටි බඳුන් භාවිතයේ පූර්ව ඓතිහාසික යුගය නියෝජනය කරන තවත් සමීක්‍ෂණයක් ලෙස උඩවලව ප‍්‍රදේශය ආශි‍්‍රතව සිදුකර ඇති කැනීම් සඳහන් කළ හැකි ය. උඩවලව නිම්නයේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය පිලිබද සමීක්‍ෂණය ලෙස හදුන්වා ඇති මෙම පර්යේෂණ ව්‍යාපෘතිය 2006 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක වේ. මෙහි දි පූර්ව ඓතිහාසික යුගයට අයත් මැටි බඳුන් හමු වූ ස්ථාන අතර පල්ලෙබැද්ද ගල්පාය, රංචාමඩම, ගල්පාය තෙලඹුගහ අතුර ආදී ස්ථාන වැදගත් වේ. මෙහි දි ලක්දිව මැටිබඳුන් ඉතිහාසයේ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරනු ලබන සමීක්‍ෂණයක් ලෙස ගල්පාය ගවේෂණය හදුනාගත හැකි ය. එමගින් ලක්දිව මැටිබඳුන් භාවිතය පූර්ව ඓතිහාසික යුගය නියෝජනය කරන බව සනාථ කරන අතර රංචාමඩම සහ උඩරංචඩම කදු වැටියෙන් සොයාගත් මැටි බඳුන් මගින්ද උක්ත අදහසට ප‍්‍රමාණවත් සාධක සොයාගෙන ඇත. රංචාමඩම සුසාන භූමියෙන් සොයාගත් මැටි බඳුන් පොදුවේ ක‍්‍රීස්තු පූර්ව 2 වැනි සියවස තරම් පැරණි බව කියවේ (Somadeva 2010:203). මේ අනුව පැහැදිලි වශයෙන් ම ලක්දිව මධ්‍ය ශිලා යුගය වනවිට දියුණු මැටි බඳුන් නිපදවීමේ සංස්කෘතියක් පැවති බව සනාත වේ (Somadeva 2010:203). ඒ හා සමාන මැටි බඳුන් භාවිතය පිළිබද සාධක ලැබෙන ස්ථාන ලෙස සීගිරියට යාබද පොතාන සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පිහිටි වාරණ ගුහාව පෙන්වාදිය හැකිය. 2005 – 2006 වර්ෂවල ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකර ඇති අතර පශ්චාත් මධ්‍ය ශිලා යුගය යනුවෙන් නම් කල නව සංස්ස්කෘතික අවධියක පැවැත්ම හෙලිවන බව කියැ වේ (Adikari and Thantilge 2007:27).

ලක්දිව මැටි බඳුන් පරිහරණයේ සංවර්ධනීය අවස්ථාව නියෝජනය කරන මෙගලතික සංස්කෘතියට අදාල සාධක දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් සොයාගෙන ඇත. එහි දී ඉබ්බන්කටුව, පොන්පරිප්පුව, පිංවැව, මාන්තායි, කන්තරෝඬේ, අන්තායි, හොරොව්පොතාන, හල්දුම්මුල්ල ආදී ස්ථාන වැදගත් වේ. විශේෂයෙන්ම පොන්පරිප්පුව, ඉබ්බන්කටුවල කරෙයිනගර් ආදී මෙගලිතික සුසානවලින් කළු රතු මැටි බදුන් (Black & Red ware) හා අක්‍ෂර සහිත හෝ සංකේත සහිත මැටි බඳුන් හමු වී ඇත (Senevirathna 1984 :145). ඊට අමතරව කිරිදි ඔය ආශි‍්‍රතව ද පුරාවිද්‍යාත්මක මැටි බඳුන් සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් සිදුකොට ඇත (Bandara 2005). යුරෝපය මෙන්ම ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික කලාපයේ මැටිබඳුන් භාවිතය සහ පුරාවිද්‍යාත්මක උපයෝගීතාව පිලිබඳ ව අධ්‍යයනයන් සිදුකොට ඇත (දිසානායක 2005:127-132). ලක්දිව මැටිබඳුන් පිළිබද පුරාවිද්‍යාත්මක සාධක විමසීමේ දී තිස්ස වැව ආශ‍්‍රයෙන් කර ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ වැදගත් වේ. මෙම පර්යේෂණවල දී කුඹල් ගමක් පිලිබද තොරතුරු ලැබෙන අතර ක‍්‍රිස්තු පූර්ව යුගයට අයත් මැටි බඳුන් අවශේෂ බොහෝමයක් සොයාගෙන ඇත. මෙම බඳුන් අතර මැටි පිගන් දෙකක පිට පැත්තේ අක්‍ෂර සදහන් කර ඇති අතර ඒවා යම් කිසි පූජා කටයුත්තක් සඳහා යොදාගත් ඒවා බව සනාථ වේ. ඊට අමතරව වලං කැබලි අධ්‍යයනයන් මගින් මුල් යුගයේ සිට ම ලක්දිව සකපෝරුව භාවිත කරන්නට ඇතිබව හදුනාගෙන ඇත (Prematilaka 1982:44).

අනුරාධපුර යුගයේ මැද භාගය වනවිට තාක්‍ෂණය සහ නව දෛනික අවශ්‍යතා මත පදනම්ව මැටිබඳුන් නිර්මාණකරයේ සහ භාවිතයේ සංකීර්ණ සංවර්ධනයක් ඇති වු බව පැහැදිලි වේ. විශේෂයෙන් මහාවිහාරය, අභයගිරි, ෙඡ්තවනය ආදී ආරාම සංකීර්ණවලින් මෙන්ම තිස්සමහාරාම, සීගිරි ආදී ප‍්‍රදේශ වලින් හමුවන මැටිබඳුන් ප‍්‍රමාණවත් තොරතුරු සපයා ඇත. සීගිරිය ප‍්‍රදේශයේ සිදු කර ඇති පර්යේෂණ මගින් ක‍්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසට අයත් පාත‍්‍ර, දුන්කබල්, මැටිපහන්, මල් බදුන් ආදී විශේෂ මැටිබඳුන් අවශේෂ සොයාගෙන ඇත (Bandaranayaka 1982:13).

සමස්තයක් ලෙස සීගිරිය ප‍්‍රදේශයෙන් හමුවන මැටිබඳුන් විශ්ලේෂණය කිරීමේ දී ඒවා පූර්ව ඓතිහාසික යුගයේ සිට පශ්චාත් අනුරාධපුරය දක්වා නියෝජනය කරන බව පෙන්වා දී ඇත (සුවිනීතා 2003:186). සීගිරිය ආශි‍්‍රත මාපාගල හා අලිගල කැනීම්වලින් සොයාගත් කාළ රක්ත වර්ණ මැටි බඳුන් අනුරාධපුර ගෙඩිගේ හා ජේතවනාරාමයෙන් හමුවන බඳුන්වලට සමාන කමක් දක්වයි (Daraniyagala 1972:110). ඊට අමතර ව සුදුුමැටි නිර්මිතයක් සහිත සියුම් රතු ආලේපිත මැටිබඳුන් විශේෂයක් අභයගිරිය, සීගිරිය හා මාතොටින් හමු වී ඇත. ඒවා ක‍්‍රිස්තු වර්ෂ 4 – 7 සියවස්වලට අයත් අතර ඒවා ඉන්දියාවේ ප‍්‍රභවය වූ ඒවා බව පිළිගැනේ (Prickett 1990:53-79). 1998 වර්ෂයේ දී තිස්සමහාරාම කැනීමෙන් මතුකරගත් ගඩොළු ගොඩනැගිල්ලක රතු ආලේපිත සුදු මැටි බදුන් විශේෂයක් ද හමු වී ඇති අතර ඒවා ක‍්‍රිස්තු වර්ෂ 300ත් 450ත් කාලය බව පිලිගැනේ (Veisshar 2001).

පොළොන්නරු යුගය වන විට මැටි බදුන් කර්මාන්තය තව දුරටත් සංවර්ධනය වු බව පෙනේ. විශාල ඉදිකිරීම්වලට මෙන්ම කුඩා නිර්මාණ අවශ්‍යතා සදහා මැටි බහුල ව යොදාගෙන ඇත. පොළොන්නරුව ආළාහන පරිශ‍්‍රයේ සිදුකර ඇති කැනීම් මගින් මැටි බඳුන් එකතුවක් ඉදිරිපත් කර ඇත. ඒවා අතර දීසි, මූඩි, නෑඹීලි, කොරහ, ඇතිලි, හට්ටි, මුට්ටි, කේතලය, ගුරුලේත්තුව ආදිය වැදගත් නිර්මාණය වේ (පේ‍්‍රමතිලක 1982:12-18).

මැටි බඳුන් අධ්‍යයනය දී  මහනුවර යුගය ද වැදගත් වේ. මෙම යුගයේ දී කුඹල් කර්මාන්තය හදුන්වා ඇත්තේ බඩහැල බද්ද යන්නයි. මෙම කාලය වන විට රටේ පාලකයා ඇතුළු ප‍්‍රභූ පන්තියට අවශ්‍ය මැටිබඳුන් නිර්මාණය කර දීම ඔවුන්ට පැවරී තිබු කාර්යය වේ (ගුණරත්න 2000:34). ඔවුන් නිෂ්පාදනය කරනු ලැබූ මැටි බඳුන් භාවිතය අනුව මෙසේ වර්ග වේ. ඒවා නම් ගෘහස්ථ මැටි බඳුන්, අාගමික පරිහරණ මැටි බඳුන්, ගොඩනැගිලි සඳහා භාවිත බඳුන්සැරසිලි බඳුන් යනුවෙනි (සෙනෙවිරත්න 1981:121)

මේ අනුව ලක්දිව මැටි කර්මාන්තය විකාශය පිලිබදව සිදුකර ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිලිබඳ අවධානය යොමුකිරීමේ දී පැහැදිලි වන්නේ මෙරට ස්වදේශිකයන් ලෙස හදුන්වන බලංගොඩ සංස්කෘතිය හා නෑදෑකම් කියන ස්වදේශික ජනතාව මෙන්ම පසුව පැමිණි ආර්යන්ගේ තාක්‍ෂණික ක‍්‍රම ශිල්ප සමග මිශ‍්‍ර වික‍්‍රමයෙන් දියුණු වන්නට ඇති බවයි. එය ශිලා යුගයේ සිට ක‍්‍රමයෙන් ඓතිහාසික යුග පසුකරමින් නූතන අවධිය දක්වා සංවර්ධනය වූ බව පැහැදිලි ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • අමරසිංහ, එම්. (2004), ලෝකයේ පුරාණ ශිෂ්ටාචාර, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ, ජා ඇළ.
  • එල්ලාවල, එච්. (2002), පුරාතන ශ‍්‍රී ලංකාවේ සමාජ ඉතිහාසය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ.
  • ගුණරත්න, ආර්. (2006), ශ‍්‍රී ලංකාවේ මැටි කර්මාන්තයේ ඉතිහාසය සහ විකාශනය, වැලිපිල පුරාවිද්‍යා සඟරාව, 4 වන කලාපය, සංස්. අරුණ රාජපක්‍ෂ ඇතුලු පිරිස, ඒකාබද්ධ පුරාවිද්‍යා උපාධිධාරී සංගමය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • දිසානායක, ආර්. (2005), පුරාවිද්‍යාත්මක උපයෝගිතාව හා භාවිතය මැටි බඳුන්, පුරාතන ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රහය, ජාතික පුරාවිද්‍යා දින සමරු කලාපය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1982), පුරාවිද්‍යා කැණීම් වාර්තාව, ආළහන පිරිවෙන, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • සුවිනීතා, ඊ. (2003), ශ‍්‍රී ලංකාවේ මැටි කර්මාන්තයේ ඉතිහාසය, වසුන්දරා, 8 වන කලාපය, සංස්. දම්මි බණ්ඩාර ඇතුලු පිරිස, කැළණිය විශ්වවිද්‍යාලය, කැළණිය.
  • සෙනෙවිරත්න, ටී.ඒ.( 2008), මැටි මෙවලම්, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • Adikari, G. and A. Thantilage (2007), The new chronology for srilanka, The Identification of cultural phase, Post mesolithic in Archeological, vol. 3 Colombo, PGIAR
  • Allchin, Richerd and Ramond Allchin  (1968), The Birth of indian Civilization, Baltimore pengain Books
  • Arnold, D.E. (1985), Ceramic theory and Cultural process, Cambridge, Cambridge university press
  • Battachariya, D.K. (1990), Pre history Archeology  A Comparative study of human Succession pelini hindustan publishing corporation
  • Bandara, R. (2005), the Archeology of Pottery Recoverd From lower Kirindi oya Basin 1999 – 2003, Mpill PGIAR, Colombo.
  • Bandaranayaka, S. and G. Maldeniya (1982), Sigiriya Project First Archeologycal Excavetion and research report, Colombo, Central Cultural Fund
  • Daraniyagala, P.E.P. (1957), “The races of the stone age and of the ferrolithic of Ceylon” JRAS vol.5 part.01
  • Deraniyagala, S. (1972), Archaeological Explorations in Ceylon, part 2 Kollankanatta
  • Encyclopedia of world Art (1960) vol. 1 and IV mc grow London, hill book company limited
  • Ghosh, A. etal (1946), pottery of ahichchhatra, Ancient India, Archeologycal Sarvey of india, New Dilhi
  • Orton, C.P. Tyers A Vince (1990), Pottery in Archeology, Cambridge University press
  • Pradence, R.M. (1987), Pottery Analysis, London, The university of Chicage press
  • Prickett, M. etal (1990), Durable Goods The Archeologycall evidence of sri Lanka role in the indian ocean trade, central cultural fund
  • Sankalia, H.D. (1974), Prehistory and Protohistory of India and Pakistan, Deccan College postgraduate and research institute, Poona
  • Shepard, A.O. (1959), ceramic for the archeologists, washington
  • Senevirathna, S. (1984), The archeology of the megalitic black & Red ware complex in srilanka, Ancient Ceylon no. 5 colombo Jonral of the archeologycal survey Department of ceylon, Sri Lanka.
  • Somadeva, R. (2010), archeology of the Udavalava basin, Postgraduate institute of archeology colombo
  • Weisser, J.H. etal (2001), ancient Ruhuna, vol.v, erlay philip von zabern, Germany
  • Wheeler, R.E.M. (1974), brahmagiri and Chandra valli. Megalitic and other cultures in the chitaldrag distric, Archeologycal servey of india, New Delhi
--------------------------------------------------------------------------------------------------------

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.08.05 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

--------------------------------------------------------------------------------------------------------