Home Blog Page 19

පුරාවිදු උරුමය, නිධානය හා ජන සමාජය

අයි.ඩී.එම්. විජේබණ්ඩාර

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

අයි.ඩී.එම්. විජේබණ්ඩාර

විශ්ව සම්භවය මෙන් ම මානව පරිණාමය පිළිබඳ කරනු ලබන අධ්‍යයනයන්හි දී ප‍්‍රස්තූත විෂයෙහි උපයෝගීතාව අතිශය තීරණාත්මක ය. පුරාවිද්‍යා විෂය වූ කලී අතීතය පිළිබඳව කරනු ලබන සොයා බැලීම්, විශ්ලේෂණයන්, විග‍්‍රහයන් මෙන් ම අතීත උරුම කරුවන්ගේ ජීවන ශෛලීය තේරුම් ගැනීමත් ප‍්‍රමුඛ කාර්යයන් ලෙස හඳුන්වාලිය හැකි ය. ලෝක සම්භවයේ මූලාරම්භය පිළිබඳ හැඳිනීම දේවවාදී සංකල්ප මත ගොඩනැගුණු වග පරිණාමවාදී සංකල්ප ලෙස විමසිලිමත් වන විට පැහැදිලි ව පෙනෙන කරුණකි. චාල්ස් ඩාවින්ට පෙර මානව විද්‍යා චින්තකයන් දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවීම පීළිබඳ හාස්කම ගැන පුරාවෘත්තයන් ඈත අතීතයේ සිට ම නොයෙකුත් මිනිසුන් අතර පැවතිණි. සොභාවික සමාජ හා ආර්ථික පරිසර මෙම පුරාවෘත්ත බිහිකළ අය මත බල පෑ ආකාරය ඒ තුළින් පැහැදිලි කරගත හැකි ය. දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ, අමරණිය ආත්මයක් ඇතුළු කළ සැටි බයිබලය කියයි.1 මැවුම්වාදී සංකල්ප අභියෝගයන්ට ලක් කරමින් විශ්ව සම්භවය මෙන් ම මානව පරිනාමය ඇතුළු අතීත අධ්‍යයනය හා ප‍්‍රතිකල්පිත ගොඩනැංවීම දක්වා වූ කි‍්‍රයාවලිය පුරාවිද්‍යාවේ හා පුරාවිදුවාගේ විෂයාන්ති‍්‍රක මූලික අරමුණු ලෙස පෙන්වා දිය හැකි ය.

වසර මිලියන ගණනක් වූ පුරාතනයේ මෙකී විමසා බැලීම රටින් රට විවිධ සංස්කෘතික හැඩතලයන් ඔස්සේ විවිධාකාර අයුරින් ප‍්‍රත්‍යාවලෝකනය කරනු ලබයි. මිනිසාගේ පුරාතනය සොයා බැලීම පිළිබඳ උනන්දුව වඩාත් බෙහෙවින් මිනිසාට සමීපව පවතින්නට ඇත. සෑම සමාජයකම පාහේ තම පුරාතනය අගය කිරීම සහ ඒ පිළිබඳ විවිධ කරුණු තහවුරු කිරීම සඳහා මිත්‍යා කථා ඉදිරිපත් කර තිබේ. වඩාත් හොඳින් පිළිබිඹු වන මූලික සිද්ධාන්තයක් නම් ප‍්‍රාථමික තත්වයේ සිට ක‍්‍රමයෙන් සංවර්ධන මානයක ලක්ෂණවලට වඩා පරිහානික ලක්ෂණයයි. ආගම කේන්ද්‍රකොට අපූර්ව කතාන්තර ගොඩනැගී තිබුණි. ඒ අතරින් දෙවියන් වහන්සේ විසින් ස්වභාවික අංග මවන අතර කෘතිම ගොඩනැඟිලි, ජනාවාස යනාදිය දේවතාවන් සුරඟනන් හා යක්ෂයන් ප‍්‍රධාන කොට ගොඩනැගුණු බවට ආකල්පය පැවතිණ. සැබැවින් ම, පුරාණ ද්‍රව්‍යමය සාධක පිළිබඳ අවබෝධය හා ඒවා තේරුම් ගෙන කි‍්‍රයා කිරීමට දරන ලද උත්සාහය නිතර දක්නට ලැබුණි. ඒ වූ කලී පුරාවිද්‍යාවේ ආරම්භක අවස්ථාව ලෙස සැලකිය හැකි ය.2

නූතන පුරාවිද්‍යාවේ විධික‍්‍රම සංවර්ධනය වූයේ මෑත සියවස්වල ය. කෞතුක භාණ්ඩ සහ පැරණි කලාකෘති රැස්කිරීම පුරාතනයේ කැපී පෙනෙන සිදුවීමක් විය. කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසේ බැබිලෝනියාවේ සිට ග‍්‍රීක රෝම ශිෂ්ටාචාර පැවැති කාලයන්හි හා මධ්‍ය කාලීන යුගයේ සිට පුනරුද සමය අතර කාලයේ දී ද මෙය වඩාත් ප‍්‍රචලිත විය.3 18 වන සියවස දක්වා වූ ජීවත් වූ සාක්ෂරතා සමාජයේ ඉතිහාසඥයන් හෝ දාර්ශනිකයන්ගේ මූලික ගැටලු වර්තමානයේ මානව පරපුරට මුළුමනින් ම වටහා ගැනීම දුෂ්කර ය. මක්නිසාද යත් ලිඛිත සාක්ෂි පදනම් කරගත් ඉතිහාසය මානව පරිණාම අවධීන් හා සංසන්දනය කර බැලීමේ දී එතරම් දිගු නොවන බැවිනි. ලිඛිත යුගයට පූර්වගාමී කාල පරාසය මළගිය ඥාතීන් හා බැඳි විශ්වාස, දේව කතාන්දර ඈ කවාකාර හෝ මැවුම්වාදී සංකල්ප මත ගොඩනැඟුණු ආගමික හෝ මිත්‍යා කතාවලින් සංකලනය වූ පරීක්ෂාවට විමර්ශනයට බඳුන් කළ නොහැකි තොරතුරුවලින් පිරුණු සංදර්භයන්ගෙන් යුතු හෙයිනි. පුරාවිද්‍යාව නැතහොත් ගෝලීය නාමකරණයට අනුව යමින් Archaeology යන්න ගත්කළ ගෙවුණු සමාජයේ ශේෂ වූ සාධක අනුව පුරාතනය ගොඩනැංවීමේ විධික‍්‍රමය මේ තුළ අන්තර්ගත ය. මෙහි දි ඊට අනුභූතීන් වනුයේ පුරාවස්තූන් ය. පුරාවස්තු නොමැති තැන පුරාවිද්‍යාවක් දැකිය නොහැකි ය. එහෙයින් පුරාවස්තුව විශ්ව මට්ටමින් මෙන් ම ඒ ඒ ශිෂ්ටාචාර, සංස්කෘතීන්, සභ්‍යත්වයන් අනුව විවිධ කෝණයන්ගෙන් අර්ථ විග‍්‍රහයට ලක් වී හමාර ය. මේ සඳහා දේශීයව පුරාවස්තුව වන්නා සේ ම ගෝලීය හැඳින්වීම Antique ය. සරලාර්ථය ගත් කළ පුරාවස්තුව, පෞරාණික දේ, ආදි කාලේ සිට පැවත එන යනුයි. Antiquity යන්න ද ඊට අනුගත වන අතර, එහි අදහස පුරාණ කාලය (විශේෂයෙන් මධ්‍යතන යුගයට පෙර කාලය) පුරාවස්තු පැරණි නෂ්ටාවශේෂ, විශේෂයෙන් ඉදිකිරිම් හා චිත‍්‍ර ආදිය ඉපැරණි සිරිත් විරිත් යන්නයි.4

පුරාවිද්‍යාව, එහි නූතන ස්වරූපය ගත්කළ වැඩි අවධානයක් යොමු කරනු ලබනුයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක හා පුරාවස්තු (භාණ්ඩ) පිළිබඳව යි. එනම්, පුරාණ මානව කි‍්‍රයාවන්හි භෞතික අවශේෂයයි. මේ පිළිබඳ වර්ධනය වෙමින් පවත්නා උනන්දුව නූතන පුරාවිද්‍යාඥයන්ගේ කාර්යභාරයට පසුබිම් වී ඇති ප‍්‍රධාන මූලධර්ම තවදුරටත් වර්ණවත් කරයි. මෙම ප‍්‍රත්‍යක්ෂ අවශේෂයන් අර්ථවත් සංදර්භයන් තුළට ගොනුකරලිම 16 වන සියවසේ සිට සැලකිය යුතු තරම් දියුණුවක් ලැබි ය. සංචාරකයන්, කෞතුක වස්තු රැස්කිරීම හා කි‍්‍රස්තු වර්ෂ 1500 දී පමණ නව ලොව සොයා ගැනීමෙන් පසු යුරෝපයට නැවත කාන්දු වූ මානව විද්‍යාත්මක දැනුම් සම්භාරය එයට හේතු විය.5 මේ අනුව සරල තාක්ෂණික ක‍්‍රමවේදයේ සිට (ගල් ආයුධ නිෂ්පාදනය) සංකීර්ණ යාන්ත‍්‍රණය දක්වා වූ ගමන මිනිස් දෑතෙහි නිමවුම් ය. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැරණි වෙහෙරවිහාර, මාළිඟා, සොහොන්, ගොඩැලි, පිරමීඩ, ස්තූප මෙන් ම ශිලා ලේඛන, කාසි, මැටි බඳුන්, චිත‍්‍ර ඵලක, මූර්ති, කැටයම් ඈ විවිධාකාර වූ වස්තූන් තදනුබද්ධ විෂය හා ගැටී පවත්නා අනුභූතීන් ය. කිසියම් දේශයක කිසියම් කාලයක පුරාවස්තුව යන්න නිර්චවනයට පාත‍්‍ර වේ යැයි නොසිතා නිර්මිත මෙකී වස්තූන් කාලානුරූපීව පුරාවස්තුවක් වූ වග අහඹු සිද්ධියකි. එහි කි‍්‍රයා මාත‍්‍රය ඒ ඒ සමාජ තලයන් විසින් නන් අයුරින් දක්නා ලදි. මෙහි කැපී පෙනෙන වෙනස්වීම් 15, 16 සියවස් හි යුරෝපයේ ඇති වු පුනරුද ව්‍යාපාරය හේතුවෙන් ලෝක අවධානය දිනාගන්නා ලදි. ධනධාන්‍යයෙන්, හැකියාවෙන් පිරිපුන් සමාජ තලයන් විසින් පුරාණ කලාකෘති තම වාසස්ථාන අලංකාර කිරීම, විසිතුරු කිරීම උදෙසා එක්රැස් කරන ලද මෙම වස්තූන් පසු කාලීන කෞතුකාගාර බිහිවීමේ අදියර දක්වා ව්‍යාප්ත විය. කලා රසිකත්වය, ධනය රැස්කිරීම, ලලිතකලාවන් හි රුචිකත්වය ගාම්භීර පෙනුමෙ හි ආරෝපණය යනාදි මුල්කාලීන අරමුණු ඔස්සේ එක්රැස් කරන ලද පුරාවස්තූන්, පශ්චාත් කාලීන නා නා අභිමතාර්ථයන් උදෙසා ඒකරාශි කරගනු ලැබීය. මෙමගින් සිදු වූ සමාජගත ප‍්‍රවණතාව වූයේ පුරාතනය අගය කිරීමේ සම්ප‍්‍රදාය ප‍්‍රබල ලෙස සමාජගත වීමයි. මෙකී සමාජගත වීමේ ප‍්‍රවණතාව හි උග‍්‍ර අවස්ථාව ගෙවුණු සියවස මුලුල්ලේ හි ලොව කවර දේශයක වුව සුරැකිව පැවැති සංස්කෘතික දේපළයන් හි අවභාවිතය යි.

මෙරට පුරාවිද්‍යාත්මක උරුමයේ ගවේෂණාත්මක අවධිය 19 වන ශත වර්ෂයේ අවසන් අදියර සමඟ ආරම්භ වූ වග අප දනිමු. එහෙත් 1890 වර්ෂයට පෙරාතුව විටින්විට තැනින්තැන යම් යම් පුරාවිද්‍යා කටයුතු මෙරට සිදු විය. 1861 වර්ෂයේ ඉන්දීය පුරාවිද්‍යා කටයුතු ආරම්භ වී නමුත් මෙරට පුරාවිද්‍යා කටයුතු විධිමත් අයුරින් ආරම්භ කිරීමට වසර 30ක් පමණ ගත විය. මේ පිළිබඳ කදිම සටහනක් 1876 වර්ෂයේ ශී‍්‍රමත් ජේම්ස් පර්ගසන් විසින් මෙලෙස තබා ඇත.6

ග‍්‍රහයන් ද සිය පිහිටීම මගින් ලංකාවේ පුරාවිද්‍යාවට අපල සිදුකොට ඇති සේය. . . . එනමුදු අප දන්නා සියලු රටවල් අතරෙන් අශෝක සමයේ සිට අද දක්වා අනුක‍්‍රමයෙන් ව්‍යාප්ත වූ බෞද්ධ ස්මාරක සියල්ල නොඅඩුව දක්නට ඇත්තේ ලංකාවේ පමණකි. මහාවංශය තුළ ලිය වී ඇති පරිදි මුල්කාලීන ගොඩනැගිලි පිහිට වූ දින හා ඒවායේ අරමුණු සෑහෙන පමණ නිවැරැදිතාවකින් යුතුව දැනගත හැකි තරම් විස්තර සහිත හා විශ්වාස කටයුතු ඉතිහාසයක් තිබෙන්නේ ද ලංකාවට පමණකි. මේ ගොඩනැඟිලිවල නෛසර්ගික වැදගත්කම හැරුණු විට නිශ්චය වශයෙන් දන්නා දින සහිත මේ අනුක‍්‍රම හා අඛණ්ඩ ඉදිකිරීම් මාලාව, ඉන්දීය මහද්වීපයෙහි ඇති කඩ කඩ වූ ඉදිකිරීම් සමූහයන් සමඟ සංසන්දනය කිරීමට පුලුවන් නම්, ඉන් මතුවන සමාන්තරතා මගින් දැනට නොපැහැදිලි අවිනිශ්චිත ප‍්‍රශ්න බොහෝමයක් පහදා දෙනු ඇත. එමෙන් ම දැනට ඉතා පැහැදිලි වශයෙන් ම අවශ්‍ය වී ඇති අනුරූපතාවක් සැපයෙනු ඇත.7

ඉහත සටහන මෙරට පුරාවිද්‍යාත්මක උරුමයේ විශේෂතාව මෙන් ම දේශීය අනන්‍යතාව පිළිබඳ කදිම විවරණයකි. වසර දෙ දහස් පන්සියකට අධික ලිඛිත ඉතිහාසගත සංසිද්ධීන් මෙන්ම අඩුතරමින් වසර එක් ලක්ෂ විසිපන්දහසක් පමණ වන නොලියවුණු ඉතිහාසගත සංසිද්ධීන් ද කියාපානු ලබන්නේ මෙරට අද්විතීය උරුමයේ ශ්‍රේෂ්ඨත්වය යි. මෙරට පූර්වගාමී ජනී ජනයන්ගේ කි‍්‍රයාකාරකම් මෙන් ම තම අනන්‍යතාව සුරැුකීමට ඔවුන් දරන ලද වෙහෙස පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යයික මූලාශ‍්‍රයන්හි අන්තර්ගතයන් මගින් මනාව විශද කරනු ලබයි. එහෙත් ගෙවුණු දශක කීපයක මුළුල්ලේ පෙර නොවූ විරූ අයුරින් මෙරට අද්විතීය උරුමය කෙරෙහි දුර්දශාපන්න කාල පරිච්ෙඡ්දයක් උදා වී ඇති වග පැහැදිලි කරුණකි. මේ සම්බන්ධව මෙරට ඇති පූර්වතම ලියවිල්ල 1887 අංක 17 දරන පැරණි නිදන් වස්තු ආඥා පනතයි.8 බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට පෞරාණික උරුමය සම්බන්ධයෙන් අණපනත් බිහිවීම තුළ එකී වස්තූන්ගේ ආරක්ෂාව කෙබඳු වීද යන්න පැවැසීමට අටුවා ටීකා නුවුමනා ය. අණපනත් බිහිවීම මගින් විශධ කරනු ලබන්නේ පවත්නා තත්වය ඉක්මවා කරනු ලබන හානිකර බලපෑම මෙන් ම එහි සුරක්ෂිතතාව රදා පවත්වා ගනු ලැබීමේ අරමුණ යි.

1890 දශකයේ ඇරඹී මෙරට පුරාවිද්‍යාත්මක කටයුතු විවිධ අණපනත් හි ආභාෂය අනුකූලතාව මත කි‍්‍රයාකරමින් අවුත් වත්මන වන විට 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත9 මුල්කොට ගෙන දේශීය අනන්‍යතාව සුරැකීමට යත්ත දරනු ලබයි. කවර නම් නීති අණපනත් ප‍්‍රායෝගික භාවිතාව ලෙස සකී‍්‍රය ව තිබුණ ද එදා සිට අද දක්වා මෙරට පුරාවස්තු මංකොල්ලයෙ හි අඩුවක් නොවූ වග ද සිහිපත් කළ යුතු ය. මෙකී ප‍්‍රවණතාෙවහි උග‍්‍ර අවස්ථාව ගෙවුණු දශක කීපය මුලුල්ලේ තදින් බලපැවැත්වූ අතර, ඒ සඳහා මූලාධාර වූ ප‍්‍රධාන විෂය වූයේ නිදාන සංකල්පයයි. නිදන් යනු කුමක් ද? එහි ස්වරූපය කෙබඳු ද? එය පිහිටා ඇත්තේ කොහිද? එය ලබාගන්නේ කෙසේ ද? මෙකී සංඥාගත හැඳිනීම් උභතෝකෝටිකය තුළ සිර වී සිටිනා නූතන ප‍්‍රජාව ඒ මත ලුහුබැඳීම මෙකී පුරාවස්තු අවභාවිතයේ මූලාරම්භය යි. නිදන් යනු, සරලාර්ථයෙන් ගත් කළ තැන්පත් කිරීම සහ අරුත යි. මෙරට පුරාවිද්‍යාත්මක සාක්ෂි පදනමින් ගත් කළ මෙකී වදන හා සමීපතා ඉතා දුලබ ය. අනුරාධපුර අභයගිරි දාගැබෙහි දකුණු වාහල්කඩින් හමු වී දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තබා ඇති ශිලාලේඛන දෙකක් ඇසුරින් කිසියම් අදහසක් මේ පිළිබඳව ලබාගත හැකි ය. කි‍්‍රස්තු වර්ෂ 164 – 192 රජ පැමිණි මළුතිස හෙවත් කණිට්ඨතිස්ස රජු විසින් කරන ලද මෙකී ශිලා ලේඛන ද්වයෙහි පෙළ ගත් කළ,

I. මළුතිස මහරජහ රජිණි මිතබිය ධාතු නිජනෙ
අදහස – මළුතිස මහ රජුගේ බිසව වූ මිතගේ ධාතු මෙහි තැන්පත් කරන ලදි

II. මලිතිස මහරජහ මති සිරබිය ධාතු නිජනෙ
අදහස – මලිතිස මහ රජුගේ මව් වූ සිරිබියගේ ධාතු රජු විසින් මෙහි තැන්පත් කරන ලදි10

මෙහි සඳහන් නිජනෙ යනු තැන්පත් කිරීමේ අදහසයි. මේ අනුව අඩු තරමින් කි‍්‍රස්තු වර්ෂ 2 වන සියවස තරම් අතීතයේ මෙරට නිදන් කිරීමේ සංකල්පයේ ලිඛිත සාධක හඳුනාගත හැකි ය. කි‍්‍රස්තු වර්ෂ 5 වන සියවසේ ධාතුසේන කාශ්‍යප රජුන් දවස11 ඇති වූ රාජ්‍ය බල අරගලයේ දී ධාතුසේන රජු ජීවිතක්ෂයට පත්වීමට ද මෙම නිදන් සංකල්පය වක‍්‍ර අයුරින් බල පෑ වග සිහි කටයුතු ය. මිගාර සෙනෙවියාගේ අරමුණ කුමක් හෝ වේවා කාශ්‍යප රජුට නොම දී ධාතුසේන රජු විසින් රක්නා නිදානයක් ඇති වග මිගාර විසින් කාශ්‍යපට ඒත්තු ගැන්වීම යි. මෙකී වදනින් මුසපත්වන කාශ්‍යප මෙය සත්‍යයක් විය යුතු බව පිළිගනුයේ තමා තුළ නිදන් පිළිබඳ පුර්වාදර්ශයක් තිබූ නිසාවෙන් විය යුතු ය. සංකල්පීය වශයෙන් හෝ එහි අරුතක් ඇති වග ඔහු පිළිගනී. කුවේරගේ අලකාපුර සංකල්පීය ලක්ෂණ අනුව යමින් කාශ්‍යප සීගිරි පුරවරය ගොඩනැඟූ අයුරුත්, කුවේර සතු නව නිධානයන් රක්ෂා කරන බහිරවයන් අතරින් සංඛ – පද්ම නිධි පිළිිබඳ සංකල්පය ද මෙකී සංකල්පයේ ති‍්‍රවුරතාව ප‍්‍රකාශ කරන මධ්‍යයන් ය. මෙකී කවරාකාර සංකල්පයකින් වුව ප‍්‍රකාශිත මුඛ්‍යාර්ථය නම් කිසියම් වටිනාකමක් සහිත වස්තුවක් සඟවා තැබීම, නිධන් කිරීම පිළිබඳ අදහසයි. එහෙත් මෙහි ඇති කණගාටුවට කරුණ නම් මෙම වස්තූන්ගේ කෝෂ්ඨය ලෙස බුදු පිළිමයක හෝ වෙනයම් මුර්තියක සිරස, පසු පෙදෙස කුස පාදම අත් පා මෙන් ම සඳකඩ පහණ, මුරගල, කොරවක්ගල, ගල් කණුව, පියගැටපෙළ හෝ වෙනත් පුරාවිදු සංදර්භයක ශුඪ ලෙස සඟවා ඇත යන අවිද්‍යාත්මක මූඪ පොදු ජන මතයයි. මෙහි යථාර්තය නම් අද්විතීය උරුමයක හැඩතල කියාපාන අමුල්‍ය වටිනාකමකින් අනූන පුරාවස්තූන් ලොවට අහිමිවීම හැර අන් කවරක් ද?

මේ සඳහා බල පෑ හේතු සාධක රැසක් ද සමාජගතව ඇති අතර ඉන් ප‍්‍රධානත්වය නිධන් වදුල හිමිකර ගනී. නිධන් වදුල යනු 18 වන සියවසේ දී පමණ ලියවුණු අව්‍යාක්ත ග‍්‍රාම්‍ය ලියවිල්ලකි. එහි එන බොහෝමයක් කරුණු මෙරට ඉපැරණි ග‍්‍රාම නාම සම්භවයන්, මංමාවත්, බෙදීම්. කුලගොත් පිළිබඳ සටහන් ඇතුළත් කඩයිම් ලකුණු හා බෙහෙවින් සමපාතික ය. එසේ නොවන්නට 1890 දශකයෙන් ඇරැඹි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසය වසර 125ක් ඉක්ම ඇති මෙවන් සමයක ඉන් ලද නිධානයන් වේ නම් මෙරට සුරපුරයක් විනා අන් කවර නම් දේශයක් දැයි විමසිය යුතුව ඇත. එදා මෙදා තුර අහඹු ලෙසින් හමු වූ රනින් නිර්මිත පූජාර්භ වස්තූන් කීපයක් හැරුණු කොට වෙනත් හමු වූ යමක් නොමැත. ඉන් පරිබාහිර හමු වූ රනින් නිර්මිත යමක් වේ නම් ඒ ද ඉතාමත් අඩු ඝණත්වයකින් යුතු රන් ආලේපිත යම්කිසි වස්තුවකි.

නිදන් ලකුණු සංකල්පයේ එන බොහෝමයක් ලකුණු කඩයිම් ලකුණු අතරේ දක්නට ලැබෙන බව පෙර සඳහන් කළෙමු. ඒ අනුව මෙහි එකී සංකේතයක් පිළිබඳ සටහනක් තැබීම වැදගත් වේ යැයි හඟිමි. සිංහලයෙහි කඩ යන රූපය වනය, ඊතලය, වස්ත‍්‍රය, කැබැල්ල, කැඩුණු යන අරුත් රැසක යෙදී ඇත.12 සංස්කෘතයෙහි එන සීමා හා සීමන් යන පර්යාය වදන් හා යෙදෙන අතර ඉම, සීමාව, ගල්වැටිය, ගමක හෝ කුඹුරක සීමාවට සළකුණු වශයෙන් ගැණෙන සංකේත, ඉවුර, වෙරළ ශිෂ්ට සම්මතයේ ස්වරූපය යන තේරුම් සීමන් යන වචනයෙහි ගැබ්ව තිබේ.13 මේ අනුව කඩයිම් ලකුණු දිවයින පුරා පිහිටි ඇළදොළ, ගංගා, වනපෙත හා පර්වත ඈ තැන් ඇසුරු කොට පිහිටා ඇති අයුරු විද්‍යමාන කරුණකි.

සීමා ලකුණු පිළිබඳව කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ මෙන් ම විවිධ ග‍්‍රන්ථ ඇසුරින් ද තොරතුරු සපයා ගත හැකි ය. රජු විසින් අදාළ ලකුණු ඇති කළ යුතු වග ද පෙන්වා දී ඇත. කුරුණැගල විස්තරයේ එන පහත ලකුණු ඉහත කරුණු හා කෙතරම් ගැලපිමක් ඇත්දැයි විමසිය යුතු ය. “ඉට බස්නා අත ගල් බැඳි ලිඳ ද ඇතුගල පිටගල් බැඳි පොකුණ ද හුනුවලට මෙපිටින් ගල් බැඳි ලිඳ ද මෙතැන උනු පැන් පණිවිඩ තැන යනු වරකෙන්‍ද ගල්ලෙන ඇතුළේ වැඳි දරුවා ගලෙන් කොටා දුනු දෙක දෑතට ගෙන සිටුවා තිබෙන ගල්ලෙනක සාවනු විසි දහසෙක් ද14 ඇළහැර ගැන කඩයිම් පොත්වල දක්වන තැන “ඇලසර රටට මහා ඇලක් බැඳ ඇත. හීතල් ලකුණක් කෙටූ ගල්ටැම් සතර කොන ඉමට ඇත්තේය.15 ඉපැරණි මායා රටට අයත් ප‍්‍රදේශයක් සේ ගැණෙන උඩුගොඩ රට පිළිබඳව කඩයිම් විස්තර අනුව “උඩුගොඩ රටට කඩයිම් කඩුවක් කෙටූ ගලත් ඇත්තේ ය.16 ශී‍්‍ර ලංකාද්වීපයේ කඩයිම් පොතින් මහාඉම් – මා ඉම් – කඩ ඉම් යන වචන අනුව යෙදුණු විස්තරයක් පහත පරිදි දක්වා ඇත.

සතර ඉමට
සතර මහ ඉමට බෝරුක් නාරුක් සිටුවන ලද්දේ ය.”
සතර මාඉමට ගිරා ලකුණු ගිරා ලකුනු ගිරා රූකඩ කෙටූ
සතර මාඉමට ගල්පෝරු සතරක් තබා
සතර මාඉමට පුරාතන සොලොසක් ගල්ටැම් සාදා
සතර කොන ඉමට
සතර මාඉමට ගල්ටම් දෙමළ අක්ෂර සටහනින් යුත්ත කොට17

හුදෙක් ඉහත දක්වන ලද කඩයිම් ලකුණු දෙස බැලීමේ දී පෙෙනන කරුණක් නම් නිදන් වදුල තුළ අන්තර්ගත ලකුණු හා බෙහෙවින් සමපාතික වන බවයි. මේ අනුව මෙරට සිව්දෙස ඇති ධන නිධානයන් සඟවා ඇති තැන් පිළිබඳ කෙරෙන විස්තරයක් නොව මෙරට සිව්දෙස පිහිටුවා ඇති කඩයිම් ලකුණු පිළිබඳ විස්තරයක් ඉහත ග‍්‍රන්ථද්වයෙන් ම ප‍්‍රකාශිත වන වග පැහැදිලි ය. එහෙත් මෙරට පොදු ජන චින්තනය තුළ ශුඪ සංකේත පාදක කරගත් නිදාන සංකල්පයන් පිළිබඳ අදහස කලක පටන් පැවැත එන වග ද නොරහසකි. මේ සඳහා ද විවිධ ජනකථා, ජනප‍්‍රවාද, විවිධ ලේඛන ග‍්‍රන්ථ බලපා ඇති වග ද පැහැදිලි කරුණකි. මෙරට සිනමා ක්ෂේත‍්‍රයේ නිධානය, රන්මුතු දූව වැනි චිත‍්‍රපට ගත් කළ ලාංකේය ප‍්‍රජාව තුළ නිධන් සංකල්පය පැලපැදියම් කිරීමට ද අමතක කළ නොහැකි මෙහෙවරක් ඉටු කොට ඇත. 1960 දශකයේ මෙරට ප‍්‍රථම වර්ණ සිනමා සිත්තම වූ රන්මුතු දූව තිරගත වීමෙන් පසු එහි ති‍්‍රව‍්‍රරතාව වඩාත් ප‍්‍රබල විය. ආතර් සී. ක්ලාක්, මයික් විල්සන්, රොඩ්නි, ජෝන් ක්ලාස් හා සාගර පුරාවිද්‍යාඥ පීටර් තෝර්ක්මෝන් ද ඇතුළු කණ්ඩායමක ගේ මෙහෙයවීමෙන් දකුණු වෙරළ තීරයේ කළ ගවේෂණය18 මෙරට පෙර නොවූ විරූ සිනමා අත්දැකීමක් මෙන් ම පුරාවස්තු සොරා ගැනීමේ ජාවාරම්කරුවන්ගේ මෙන් ම කිසිත් නොදත් පේ‍්‍රක්ෂකයා තුළ පුරාවස්තු පිළිබඳ අයුතු හැඟීමක් ඇති කිරීමට සමත් වූ වග කාලානුරූපී තොරතුරු ඇසුරින් පෙන්වා දිය හැකි ය.

මෙරට බහුතර ජනයා රටේ පවත්නා නීතිය පිළිබඳ හැඟීමක් නොමැති අතර දැනීමක් ද නොමැත. 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත ප‍්‍රකාර ව පුරාවස්තු සම්බන්ධයෙන් වැරදි කළවුන්ට මුල්‍යමය දඩ ගැසීම් මෙන් ම 5 වසරක සිර දඩුවම් ද විඳීමට නියම කළ හැකි ය. වරදකට චෝදනා ලැබූ චූදිතයෙකු වූ කිසිම තැනැත්තෙකු ඇප මත මුදා හැරිය නොහැකි ය.19 මෙය සැලකිය යුතු කරුණක් වන අතර පුරාවස්තු ආරක්ෂා කිරීමට ගෙන ඇති සාධනීය නෛතික කරුණක් ද වේ. පුරාවස්තු සම්බන්ධයෙන් ප‍්‍රධාන වගකීම් දරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ඊට අනුගත රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙනත් ආයතනයන් තම කාර්ය පටිපාටි කි‍්‍රයාවට නංවමින්, වත්මන දක්නට ඇති මෙම විනාශකාරී කි‍්‍රයා පිළිවෙත අතු ගා දැමීමට වෙහෙස දරමින් සිටී. එහෙත් සමස්ත කි‍්‍රයාමාර්ග අදාල ආයතනය වෙත තබා මුනිවත රැකීමට මෙරට ප‍්‍රජාවට ද හිමිකමක් නොමැත. මක්නිසාද යත් යට කී උරුමයේ හවුල්කරුවන් සමස්ත ප‍්‍රජාව වන බැවිනි. නිධන් මිත්‍යාව පසුපස හඹාගොස් තම පෞද්ගලිකත්වය මෙන් ම විශ්ව ප‍්‍රජාවට උරුමකම් කිව හැකි පුරාවස්තුවක් විපතට පමුණුවා තම අනන්‍යතාව විනාශ කිරීමට පෙළඹෙනු වෙනුවට, දේශයේ උරුමය රක්ෂා කිරීමට පෙළඹෙන පරපුරක් බිහිවීම, මෙබඳු උරුමයක සාඩම්බර හිමිකරුවන් වූ අතීත මුතුන් මිත්තන් හෙලූ දහඩිය කඳුළට සාධාරණීකරණයක් වනු නොඅනුමාන ය. “සඳකඩ පහණක් වේවා, මුරගලක් වේවා එසේ නැතහොත් ප‍්‍රතිමාවක් වේවා කවර නිර්මාණයක වුව වස්තු විෂය අධ්‍යයනය කිරීම එහි යථා ස්වභාවය හඳුනා ගැනීමට මෙන් ම, එය ඇගැයීමට ද මහෝපකාරී වේ.”20

පරිශීලන නාමාවලිය

  1. එම්. නේස්තුර්ග් (1981), මිනිසාගේ සම්භවය, ප‍්‍රගති ප‍්‍රකාශක මන්දිරය, මොස්කව්. 9
  2. පි‍්‍රශාන්ත ගුණවර්ධන (2007), පුරාවිද්‍යාව, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ, ජා ඇල. 35
  3.  – එම –
  4. ජී.පී. මලලසේකර (2012), ඉංගී‍්‍රසි – සිංහල ශබ්දකෝෂය, සීමාසහිත ඇම් ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ. 62
  5. පි‍්‍රශාන්ත ගුණවර්ධන (2007), පුරාවිද්‍යාව, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ, ජා ඇල. 36
  6. එච්.සී.පී. බෙල් (2005), සබරගමු පළාතේ කෑගල්ල දිස්තී‍්‍රක්කය පිළිබඳ වාර්තාව, (පරි. කොත්මලේ කේ.බී.ඒ. එඩ්මන්ඩ්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ. පෙරවදන XI
  7. ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න (1990), ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යාවේ ඉතිහාසය, පරි. පේ‍්‍රමලාල් කුමාරසිරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, පළමු වන වෙළුම, සංස්කරණය. නන්දදේව විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ. 3
  8. 1887 අංක 17 දරණ පැරණි නිදන් වස්තු ආඥා පනත
  9. 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥාපනත
  10. Malani Dias (1991), Epigraphical Notes, No.1-18, Department of Archaeology, Colombo. 66
  11. කිරම විමලජෝති හිමි සංස්කරණය (2003), සිංහල මහාවංශය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල. 38 පරි. 179 – 180
  12. එච්.ඒ.පී.අභයවර්ධන (1978), කඩඉම්පොත් විමර්ශනය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ. 2
  13. – එම -, 2
  14. – එම -, 28
  15. – එම -, 98
  16. – එම -, 99
  17. – එම -, 3
  18. ආතර් සී. ක්ලාක්, (2014), The Treasure of the Great Reef, පරි. මනෝ ප‍්‍රනාන්දු, ”මහාගල්වැටියේ මුහුදුබත් නිධානය,” සූරිය ප‍්‍රකාශකයෝ, කොළඹ. 59.
  19. 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත
  20. කේ.බී.ඒ. එඩ්මන්ඩ් (1999), සිංහල කලා විචාරය හා පරණවිතාන, පුරාවිද්‍යා, සංස්කාරක. සිරිසමන් විජේතුංග, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ. 63
----------------------------------------------------------------------------------
 මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.01.24 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.
 ---------------------------------------------------------------------------------

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 9 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය – හැඳින්වීම, ක්‍ෂේත‍්‍ර, කාලනීර්ණය, පරිසරය හා තාක්‍ෂණය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

හැඳින්වීම

චන්දිම බණ්ඩාර අඹන්වල

මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික යුගයෙන් පසු හමුවන්නේ මැදිගල් යුගය හෙවත් මධ්‍යශිලා යුගයයි. මෙම යුගය මධ්‍යශිලා හෙවත් මෙසෝලිතික (Mesolithic) යුගය වශයෙන් හඳුන්වයි. මානව අතීතයේ දී මානවයා අත්කරගත් තාක්‍ෂණික අංගෝපාංගයන්ගේ පවත්නා ලක්‍ෂණ අනුව මෙම නම්කිරීම සිදුකරන අතර මෙම යුගය ක්‍ෂුද්‍රශිලා යුගය (Microlithic) යනුවෙන් නම් කිරීමේ නැඹුරුවක් වර්තමාන පුරාවිද්‍යාඥයින් අතර ඇති වී පවතී. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇති සාධක අනුව අදින් වසර 38,000 සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 දක්වා මෙම යුගය හා සහසම්බන්ධ ලක්‍ෂණ පැවැතුණු බව තහවුරු වී ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කාලපරිච්ෙඡ්දයට අයත් යුග අතුරින් සවිස්තරාත්මක ලෙස කරුණු අනාවරණය කරගැනීමට සමත්ව ඇත්තේ ද මෙම යුගය සම්බන්ධයෙනි. අනෙක් කාලපරිච්ෙඡ්දවලට සාපේක්‍ෂකව මධ්‍යශිලා යුගයේ ජීවත් වූ මානවයා හා ඔහු හා බැඳි තිබූ තාක්‍ෂණය, සංස්කෘතිිය, ජනාවාස, අභිචාර, සමාජීය තොරතුරු, ආහාර රටාව, ජනාවාස හා කාලනීර්ණ ආදී මානවයා වටා වූ සෑම අංශයක් ම නියෝජනය කරන සාධක ඉහළ ප‍්‍රමාණයකින් අනාවරණය කරගැනීමට පර්යේෂකයින් සමත් වී ඇත. ආරම්භයේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික විෂය ක්‍ෂේත‍්‍රය හා සමගාමි විෂය ක්‍ෂේත‍්‍රය ආවරණය කරමින් අධ්‍යයන හා පර්යේෂණයන්ගේ නියැලි විද්වතුන්ගේ දායකත්වයෙන් මෙම අවධිය පිළිබඳ පරිපූර්ණ අදහසක් ඇතිකර ගැනීමට හැකි වී ඇති බව එකී විද්වතුන්ට කෘතවේදී වෙමින් සඳහන් කළ යුතු වේ. ඒ අනුව ඊ.ඊ. ග‍්‍රීන්ගේ සිට ඊ.ජේ. වේලන්ඩ්, ආචාර්ය පී.ඊ.පී. දැරණියගල හරහා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල, ආචාර්ය එච්. නිමල් පෙරේරා, මහාචාර්ය ගාමිණි අදිකාරි හා මහාචාර්ය රාජ් සෝමදේව ප‍්‍රමුඛ පර්යේෂකයිනට කෘතවේදීත්වය පිරිනැමිය යුතු වේ.

මධ්‍යශිලා/ ක්‍ෂුද්‍රශිලා යුගයේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර

ශ‍්‍රී ලංකාවේ පවත්නා ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා සාධක අනාවරණය වන්නා වූ පුරාවිද්‍යා ස්ථාන අතුරින් අතිශය බහුතරය මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා යුගයේ සාධක අනාවරණය වන ස්ථාන වශයෙන් හඳුනාගත හැකි වේ. මෙකී ස්ථාන වෙරළබඩ රතුපස් වැටියේ සිට තෙත් කලාපයේ පිහිටි ස්වභාවික ගල්ගුහා හරහා උස්බිම්වල පිහිටි එළිමහන් කඳවුරු භූමි දක්වා විවිධ භූගෝලීය හා පාරිසරික කලාපයන්හි ස්ථානගත වී ඇත. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන වශයෙන් හඳුනාගත් හා පර්යේ්ෂණයනට බඳුන් කර ඇති පුරාවිද්‍යා ස්ථාන 150කට ආසන්න සංඛ්‍යාවක් සිතියම්ගත කර ඇති නමුත්, අවම වශයෙන් ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන ලක්‍ෂ පහකට අධික සංඛ්‍යාවක් ලංකාව තුළ පැවතිය හැකි බව ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ අදහසයි. ප්‍රස්තුත විෂය පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙක් වූ ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ උක්ත අදහස සාකල්‍යයෙන් ගෙන බලන විට පෙනී යන්නේ සමස්ත දිවයින ම ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා සාධක සංකේන්ද්‍රගත වූ භූමියක් වශයෙන් සැලකිය හැකි බවයි. ශ‍්‍රී ලංකාව හා එහි භූ ගෝලීය හා පාරිසරික ලක්‍ෂණ විග‍්‍රහ කරන විට ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී හෝ එයින් මෙපිට ලංකාවේ මිනිස් වාසයට අයෝග්‍ය ස්ථානයක් දැක හඳුනාගත නොහැකි වේ. එ නම් මිනිස් වාසය සඳහා නුසුදුසු කාන්තාර, මානව විලෝපීයයන් ව්‍යාප්ත වූ පරිසර පද්ධති හෝ වෙනත් අනුචිත පරිසර පද්ධති මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත වී ඇති ආකාරය දැකගත නොහැකි වේ. ඒ අනුව මධ්‍යශිලා කාලපරිච්ෙඡ්දය තුළ සමස්ත දිවයින ම මානව වාසය සඳහා යෝග්‍ය වූ භූමියක් ව පවතින්නට ඇතැයි සිතිය හැකි වේ. අනෙක් අතට මානව වාසස්ථාන හා කඳවුරු භූමි වශයෙන් පවත්වාගෙන යාම සඳහා අයෝග්‍ය නොවන දිවයිනේ සෑම ස්ථානයක් ම ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ වාසභූමි වශයෙන් භාවිත වන්නට ඇත. තවත් අතකින් ලංකාවේ එක් තැනෙක සිට තවත් ස්ථානයකට කෙටි කාලයක් තුළ උපරීම වශයෙන් දින දෙකතුනක් තුළ දී දැඩි වෙහෙසකින් හෝ දැඩි ප‍්‍රයත්නයකින් තොරව ලඟා වීමේ හැකියාව ද පවතී. ඒ අනුව, ගවේෂණශීලී දඩයක්කාර රැස්කරන්නන් වූ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා විශේෂයකින් තොරව, දිවයිනේ සෑම ස්ථානයක් ම තමන්ගේ වාසභූමී වශයෙන් භාවිත කරන්නට ඇත.

අත්තනගල්ල අලවල පිහිටි පොත්ගුල්ලෙන

ආචාර්ය සිරාන් දැරණියගලයන් දක්වා ඇති ආකාරයට පොදුවේ සලකා බැලීමේ දී ලංකාවේ මධ්‍යශිලා මානවයා හා ඒ අදාළ සංස්කෘතිය පිළිබඳ සාධක අනාවරණය වන ස්ථාන වර්ග වශයෙන් ත‍්‍රිත්ත්වයකි.

  • ඉරණමඩු පාංශූ සංකීර්ණය
  • තෙත් කලාපයේ පිහිටි ගුහා තුළ ඒකරාෂි වී ඇති අනාකූල වූ නිධි : උදාහරණ වශයෙන් කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, බුලත්සිංහල ෆා-හියන්ලෙන, වරකාපොළ දොරවකකන්ද (ඇතාබැඳි ලෙන), අත්තනගොඩ අළුලෙන, අත්තනගල්ල පොත්ගුල්ලෙන, සීගිරිය පොතාන
  • එළිමහන් ස්ථාන : බෙල්ලන්බැඳිපැලැස්ස, පල්ලෙමළල, මහඑළිය (Horton Plains), මාතොට (මන්නාරම), අනුරාධපුර ඇතුළුනුවර, හුංගම මිණිඇතිලිය

උක්ත දැක්වෙන ස්ථානයන්ගේ වසර සියදහස් ගණනාවක් තිස්සේ සංකේන්ද්‍රගත වී පැවති දත්ත සංචිත පදනම් කරගනිමින් සිදුකර ඇති පුරාවිද්‍යා ගවේෂණ, කැනීම් හා අදාළ වෙනත් පර්යේෂණ අනුව ලංකාවේ මධ්‍යශිලා හෙවත් ක්‍ෂුද්‍රශිලා අවධිය පිළිබඳ පර්යේෂණ දියත් කර කරුණු අනාවරණය කරගෙන ඇත.

කාලනීර්ණය

මානවයාගේ අතීතය හා සහසම්බන්ධ ඕනෑම ප‍්‍රපංචයක් විධිමත් ව පැහැදිලි කිරීමෙහි ලා උපකෘත ප‍්‍රධාන නිර්නායකය වන්නේ අදාළ සංස්කෘතික අවශේෂයන්හි පවත්නා කාලනීර්ණ සහසම්බන්ධතාවයි. යමක් පුරාවිද්‍යාත්මක ව පිළිගැනීම සම්බන්ධයෙන් පවත්නා ප‍්‍රධාන සාධකය වන්නේ ද විධිමත්ව ලබාගන්නා කාලනීර්ණයයි. ප‍්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධයෙන් භෞතික විද්‍යා සිද්ධාන්ත පදනම් කරගනිමින් වර්ධනය කර ඇති නිරපේක්‍ෂ කාලනීර්ණ බෙහෙවින් වැදගත් වී ඇත. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික දත්තයන්ගේ දැකිය හැකි විශේෂ ලක්‍ෂණයක් වන්නේ එකී පර්යේෂණයන්හි නියැලි විද්වතුන් තමන් විසින් සිදුකළ කැනීම්වල දී විධිමත් ලෙස කාලනිර්ණ ඉදිරිපත් කිරීමට උත්සුක වී තිබීමයි. මෙම කාලනීර්ණ නිගමන ලබාගැනීම සඳහා බොහෝ අවස්ථාවන්හි දී ම එකී කැනීම් ස්ථානවලින් (අදාළ පස් තට්ටු තුළින් ම) අනාවරණය කරගැනීමට සමත් වූ එක් එක් අතීත කාලයන්ට අයත් අඟුරු සාම්පල මඟින්ම ලබාගෙන තිබීම මෙම දත්තයන්ගේ විශ්වාසනීය බව ඉහළ යාම සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. (බොහෝ විට මෙම කාලනීර්ණ කාබන් 14 (C14), තාපසම්දීප්තතා (TL) හා අක්‍ෂි උත්දීප්පතා (OSL) යන ක‍්‍රම මඟින් ලබාගෙන ඇත.)

ශ‍්‍රී ලංකාවේ ක්‍ෂුද්‍රශිලා/මධ්‍යශිලා යුගය පිළිබඳ වඩාත් විශ්වාසදාය සාධක බුලත්සිංහල ෆා-හියන්ලෙන, කුරුවිට බටදොඹලෙන හා කිතුල්ගල බෙලිලෙන යන ඒවායින් ලැබී ඇත. ඒ හැර, ලංකාවේ තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ පිහිටා ඇති ගල්ලෙන් හා එළිමහන් ස්ථාන සැලකිය යුතු ගණනාවක මේ ආකාරයෙන් කාලනීර්ණ නිගමන ලබාගෙන ඇති අතර ඒවායින් කැපීපෙනන ස්ථාන කීපයක් හා ඒවාට ලැබී ඇති කාලනීර්ණ පහත දක්වා ඇත.

බුලත්සිංහල ෆා-හියන් ලෙන අදින් වසර 38,000 සිට 5,400 දක්වා
කුරුවිට බටදොඹලෙන අදින් වසර 37,000 සිට 1,000 දක්වා
කිතුල්ගල බෙලිලෙන අදින් වසර 30,000 සිට 9,000 දක්වා
කෑගල්ල අළුලෙන අදින් වසර 10,350
බෙලිලෙන අතුළ අදින් වසර 8,200
බටතොට දහයියා ලෙන අදින් වසර 7,700-4,800
ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලැස්ස අදින් වසර 6,500

ඉරණමඩු පාංශු සංකීර්ණයේ ක්‍ෂුද්‍රශිලා සංදර්භ සඳහා ලැබී ඇති දිනනීර්ණ

  • ක්‍ෂේත‍්‍ර අංක 50, වැලි වැටිය සඳහා තාපසම්දීප්තතා (TL) කාලනීර්ණ
    – මතුපිට සිට සෙන්ටිමීටර් 180ක් ගැඹුරින් : අදින් වසර 28,480
  • ක්‍ෂේත‍්‍ර අංක 49, වැලි වැටිය සඳහා තාපසම්දීප්තතා (TL) කාලනීර්ණ
    – මතුපිට සිට සෙන්ටිමීටර් 110ක් ගැඹුරින් : අදින් වසර 22,600
    – මතුපිට සිට සෙන්ටිමීටර් 170ක් ගැඹුරින් : අදින් වසර 28,260

ඉහත පෙළ ගස්වා ඇති කාලනීර්ණ දත්ත විශ්ලේෂණය කරන විට පෙනී යන කාරණා කීපයක් පිළිබඳ අභ්‍යුපගමනයන්ට ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා අවධිය සම්බන්ධයෙන් එළැඹිය හැකි වේ. දිවයිනේ වෙරළබඩ කලාපය, කඳුකර තෙත් කලාපය හා පහතරට තෙත් කලාපය යන සෑම පාරිසරික කලාපයක ම ප‍්‍රාග් ඓතිහාසික මානවයා අදින් වසර 40,000කට ආසන්න පෙර කාලයේ සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 කාලය දක්වා ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය අඛණ්ඩව පැවත ඇති බව තහවුරු වේ.

කුරුවිට බටදොඹලෙන

පරිසරය

සෑම සත්වයෙකුම පරිසරයේ කොටසකි. ලෝකයේ ජීවත්වන සෑම ජීවියෙකුටම තමා අවට වූ පරිසරයට අනුගත වූ හෝ එයට අවනත වූ ජීවිතයක් ගතකිරීමට සිදු වේ. නූතන ශිෂ්ටාචාරගත මානවයා, තම අවශ්‍යතා හා වුවමනාවන් පරිදි තමා වටා වූ පරිසරය යම්තාක් දුරකට වෙනස්කර ගත්ත ද ප‍්‍රාග් ඓතිහාසික මානවයාට තම ජීවන රටාව පූර්ණ වශයෙන් ම පරිසරයට අනුගත ව පවත්වා ගැනීමට සිදු විය. එ් බැවින්, තත් කාලීන මානවයා ජීවත් වූ පාරිසරික පසුබිම හා තත්ත්වයන් අවබෝධ කරගැනීම ප‍්‍රාග් ඓතිහාසික ක්‍ෂුද්‍රශිලා යුගයේ මානවයා පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා බෙහෙවින් වැදගත් වේ.

පැරණි කාලයේ පැවති පරිසර තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා භාවිත කළ හැකි වැදගත් සාධකයක් වශයෙන් ගස් ගොළුබෙල්ලන් පිළිබඳ අවධානය යොමු කර අැත. පරිසරයේ උෂ්ණත්වය කෙරෙහි දැඩි සංවේදිතාවක් දක්වන සත්ව කොට්ඨාසයක් වශයෙන් බෙල්ලන් සැලකේ. පරිසර උෂ්ණත්වයේ ඇතිවන අංශක කීපයක වෙනසක් කෙරෙහි වුව එකී සත්ව කොට්ඨාසය ප්‍රතිචාර දක්වන බව පැහැදිලි වී අැත. ඒ අනුව, පරිසර උෂ්ණත්ව වෙනස්වීමේ දර්ශකයක් වශයෙන් ගොළුබෙල්ලන් පිළිබඳ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණයන්ගේ දී සලකා බලා ඇත. කාබන් 14 කාලනීර්ණ අනුව කිතුල්ගල බෙලිලෙනින් හමු වූ අකාවුස් රොසියෝලාබීආටුස් ගස්ගොළු බෙල්ලන්ගේ අවශේෂ අදින් වසර 12,500 සිට 10,500 දක්වා කාලයට අයත් බව තහවුරු වේ. එ මෙන් ම, කාබන් 14 කාලනීර්ණ අනුව බටදොඹලෙන කැනිමේ දී වසර 28,500 කාලයට අයත් පස්තට්ටුවලින් අකාවුස් පීනිස් හා අකාවුස් ප්‍රොස්පරස් නම් ගස් ගොළුබෙලි වර්ග දෙක ජීවත් වූ බව පැහැදිළි වෙයි. මෙම ගස් ගොළු බෙල්ලන් වර්ග ත‍්‍රිත්ත්වය ම වර්තමානයේ ද දිවයිනේ පහතරට තෙත් කලාපයේ ව්‍යාප්තව සිටින බව ඒ පිළිබඳ විපරම් කිරීමේ දී හඳුනාගත හැකි වේ. මෙම ගස් ගොළුබෙල්ලන් විශේෂ සඳහා ජීවත් වීමට යෝග්‍ය පරිසර තත්ත්වයක් වර්තමානයේ පවත්නා අතර උක්ත දැක් වූ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී ද මෙම සත්ව විශේෂයන්ට ජීවත් වීමට යෝග්‍ය පරිසර තත්ත්වයක් තිබී ඇති බව පෙනී යයි. එයින් ගම්‍ය වන්නේ බොහෝ විට වර්තමාන පරිසර තත්ත්වයට සමාන පරිසර තත්ත්වයක් අවම වශයෙන් අදින් වසර 28,500 පමණ කාලයේ සිට ප‍්‍රාග් ඓතිහාසික අවධියේ පහළ සීමාව දක්වා ම පවතින්නට ඇති බවයි. යම් ආකාරයකින් එකී පරිසර තත්ත්වයේ වෙනසක් සිදු වී ඇත්නම් ඒ වෙනස අංශක 2-3ක් නෝ ඉක්ම වන්නක් විය යුතු ය. මේ අනුව, ප‍්‍රාග් ඓතිහාසික ක්‍ෂුද්‍රශිලා/මධ්‍යශිලා අවධියේ දී නැතිනම් අවම වශයෙන් අවසන් වසර 30,000 තුළ සැලකිය යුතු අන්දමේ පරිසරාත්මක වෙනසක් සිදු නොවී ඇතැයි ඉහළ සම්භාවිතාවක් සහිත ව නිශ්චය කළ හැකි වේ. අනෙක් අතට ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ශ‍්‍රී ලංකාවේ විශාල පරිමාණයේ පරිසරාත්මක වෙනස්කම් සිදු වන්නට ඇතැයි සිතීමට අනුබල දෙන වෙනත් පාරිසරික හෝ සංස්කෘතික කරුණු ද අනාවරණය වී නැත.

ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා අවධියේ පැවති පරිසර තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක විසින් සිදුකර ඇති අධ්‍යයන තුළින් පෙන්වා දී ඇති කරුණු මනා පිටිවහලක් වේ. සපුෂ්පික ශාකයන්ගේ පැවති පැරණි පරාග සාධක විශ්ලේෂණය කරමින් සිදුකර ඇති අධ්‍යයන අනුව පහත පෙළගස්වා දක්වා ඇති කරුණු ඔහු විසින් පෙන්වා දී ඇති බව, ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ ලිපියක් උපුටා දක්වමින් සටහන් කළ හැකි වේ.

අදින් වසර 21,500 – 18,000 ශීත හා වියළි දේශගුණයකි. වර්ෂාපතනය ක‍්‍රමයෙන් අඩු වී ඉතා වියළි දේශගුණයක් පැවැතිණ.
අදින් වසර 18,000 – 14,500 ශීත හා වියළි දේශගුණයකි. වර්ෂාපතනය ක‍්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.
අදින් වසර 14,500 – 13,800 වර්ෂාව අධික අවධියකි. වර්ෂාපතනයේ ක්‍ෂණික වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
අදින් වසර 13,800 – 12,300 ප‍්‍රබල වර්ෂාපතන වැඩිවීමක් පෙන්නුම් කර ඇත. අදින් වසර 13,000 දී පමණ වර්ෂාපතනයේ උපරිම අවස්ථාව පෙන්නුම් කර ඇත.
අදින් වසර 13,200 – 9,000 සිසිල් හා වියළි දේශගුණ තත්වයකි.
අදින් වසර 9,000 – 7,500 වර්ෂාව අධික සමයකි. උපරීමය අදින් වසර 8,300 පමණ කාලයේ දී ඇති විය.
අදින් වසර 7,500 – 4,500 සිසිල් වියළි දේශගුණයකි.
අදින් වසර 4,500 – 2,000 ප‍්‍රබල වර්ෂාධික සමයකි. උපරීමය අදින් වසර 3,200 දී පමණ වාර්තා විය.
අදින් වසර 2,000 – වර්තමානය වියළි අවධියකි. වසර 600කට පමණ පෙර වර්ෂාපතනයේ ස්වල්ප වැඩිවීමක් පෙන්නුම් කරයි.

නමුත්, ඉහත දක්වා ඇති පාරිසරික තත්ත්වයන් ශ‍්‍රි ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතිය හා චර්යාවන් කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳ සූක්‍ෂම හා විධිමත් අන්දමින් අධ්‍යයන මේ දක්වා සිදු වී ඇති බැව් හඳුනාගත හැකි නොවේ.

තාක්‍ෂණය

මානවයා තමන්ගේ අංගෝපාංගයන් පමණක් භාවිත කරමින් ඉටුකර ගැනීමට අපහසු කටයුත්තක් ඉටුකර ගැනීම සඳහා තම මනස භාවිත කරමින් යොදන බාහිර උපක‍්‍රමයන් තාක්‍ෂණය වශයෙන් සරළව අර්ථනිරූපණය කළ හැකි වේ. මානව අතීතයේ යුගකරණය සිදුකිරීමේ දී ද අදාළ යුගයන්ගේ පැවති සමාජ-තාක්‍ෂණය පදනම් කරගැනීම පුරාවිද්‍යා විෂයීය සාමාන්‍ය විධික‍්‍රමය වේ. ඒ අනුව, ප‍්‍රාග් ඓතිහාසික ජනසමාජය අවබෝධ කරගැනීම සඳහා පවත්නා ප‍්‍රබල හා වැදගත් කරුණක් වශයෙන් තාක්‍ෂණය හඳුනාගත හැකි වේ. සම කාලීන මානවයාගේ චර්යාවන් හා දිවිපැවැත්ම තීරණය කිරීමට ප‍්‍රබල වශයෙන් පරිසරය ඇසුරෙන් නිපැදවෙන මෙකී තාක්‍ෂණය බෙහෙවින් අදාළ වීම මේ සඳහා හේතුවයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මධ්‍යශිලා අවධිය සඳහා නිශ්චය කළ හැකි තාක්‍ෂණ විධිය නම් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණයයි. මෙකී තාක්‍ෂණික සම්ප‍්‍රදාය මේ අවධිය හා දක්වන සබඳතාව හේතුවෙන් ම මෙම යුගය මධ්‍යශිලා හෙවත් ක්‍ෂුද්‍රශිලා යුගයෙන් නම් කිරීමේ නැඹුරුතාවක් මේ වන විට ප‍්‍රාග් ඉතිහාසඥයින් අතර ඇති වී තිබේ.

මධ්‍යශිලා යුගයේ දී ජීවත් වූ හෝමෝ සේපියන්ස් හෙවත් බලංගොඩ මානවයා තම දෛනික ජීවිතයේ අවශ්‍යතාව අනුව කැපීම, තැලීම, සීරීම හා සිදුරු කීරීම වැනි විවිධ කාර්යයන් සඳහා ගල් මෙවළම්, අස්ථි මෙවළම් හා විවිධ දැව උපකරණ භාවිත කිරීමට ඇති බව සිතිය හැකි වේ. මෙම මධ්‍යශිලා ගල් මෙවළම් සංචිතය තුළ මිටි, ඇඹරුම්ගල්, දාගල්, මෝල්ගස්, වංගෙඩි, හිල් විදින ලද මිටි ආයුධ හා කැකුණ තැලීම වැනි දෑ සඳහා (?) භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි සමතලා ගල් තහඩු වැනි දෑ හඳුනාගත හැකි වේ. ඊට අමතර ව දියර වර්ග ගෙනයාම වැනි කාර්යයන් සඳහා ඉබ්බන්ගේ කවච, ලබු කබල් වැනි දෑ භාවිත කිරීමට ඇති බව වර්තමාන කාලයේ ජීවත් වන දඩයක්කාර රැස්කරන්නන් හා විවිධ ප‍්‍රාථමික ද්‍රවයය රැස්කරන විවිධ ප‍්‍රාථමික ජන කණ්ඩායම් පිළිබඳ සිදුකරන අධ්‍යයන හා සමාන්තර උදාහරණ මඟින් පැහැදිලි කරගත හැකි වේ.

ලංකාවේ මධ්‍යශිලා යුගයේ විශිෂ්ටම තාක්‍ෂණය ලෙස සැලැකිය හැක්කේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවළම් තාක්‍ෂණයයි. එනම්, චතුරස‍්‍රය, ත‍්‍රපීයසියම හා ත‍්‍රිකෝණය වැනි ජ්‍යාමිතික හැඩ සහිත කුඩා ප‍්‍රමාණයේ ගල්වලින් නිර්මාණය කරන ලද ආයුධ යන්න මෙයින් අදහස් වේ. ආචාර්ය සිරාන් දැරණියගල විසින් සිදුකර ඇති ගල් ආයුධ පිළිබඳ වර්ගීකරණය අනුව සෙන්ටිමීටර් 4.5ට වඩා අඩු ප‍්‍රමාණයේ ගල් ආයුධ ක්‍ෂුද්‍රශිලා ගල් මෙවළම් යනුවෙන් ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන තුළ දී හඳුනාගනු ලැබේ. මෙම ගල් ආයුධ තාක්‍ෂණ ක‍්‍රමය මධ්‍යශිලා යුගයෙන් ආරම්භ වී ක‍්‍රිස්තු පූර්ව 1,000-500 අතර කාලය දක්වා පැවැති බව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ස්ථාවල සිදුකර ඇති කැනීම් මඟින් පැහැදිලි වී ඇත. ලංකාවේ මධ්‍යශිලා යුගයේ සිදුරු සහිත මිටි මෙවළම් හා ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා මෙවළම් පැවතීම නිසා එකී ගල් මෙවළම් තාක්‍ෂණය රත්නපුර දියළු තැමපතුවලින් අනාවරණය වී ඇති ශිලා කර්මාන්තයෙන් වෙන්කොට හඳුනාගන්නා ලදි.

ඇඹිලිපිටියෙන් අනාවරණය වූ බලංගොඩ උල් ආයුධයක් (Perera 2010)

ලංකාවේ මධ්‍යශිලා ගල් ආයධු සංචිතය තුළ ජ්‍යාමිතික නොවන ක්‍ෂුද්‍ර ශිලා මෙවළම් ගණනාවක් ද හඳුනාගත හැකි ව පවතී. එවැනි ජ්‍යාමිතික නොවන ගල් ආයුධ අතර දැකගත හැකි විශිෂ්ට ගල් මෙවළම් වර්ගය නම් බලංගොඩ උල් ආයුධ (Balangoda Point) නමින් හඳුන්වනු ලබන ගල් මෙවළමයි. විනිවිද පෙනෙන පැහැදිලි තිරුවාණා ගල්, අමුද්‍රව්‍ය වශයෙන් ගෙන නිපදවා ඇති මෙය ප‍්‍රමාණයෙන් සෙන්ටී මීටර් 3ක් පමණ වන අතර සෑම පැත්තම සියුම් ලෙස පතුරු ඉවත් කර නැවැත හැඩ ගන්වා ඇත. මෙම බලංගොඩ උල් අායුධ නමින් හඳුන්වන ගල් ආයුධය, උසස් නිර්මාණාත්මක ලක්‍ෂණ නිරූපණය කරන අතර ඉන්දියාවේ තිරුණෙල්වේලියේ ටෙරි ක්‍ෂේත‍්‍රවලින් ලැබෙන මෙවළම් හා ආසන්න සමානතාවක් දක්වන බව අාචාර්ය සිරාන් දැරණියගලයන්ගේ අදහසයි. අනාවරණය වී ඇති බලංගොඩ උල් ආයුධවල කාලනීර්ණ පිළිබඳ සලකා බැලීමේ දී කුරුවිට ආසන්නයේ පිහිටා ඇති බටදොඹලෙනින් හමු වූ බලංගොඩ උල් ආයුධයක් කාබන් 14 කාලනීර්ණය අනුව අදින් වසර 22,000 කාලයට හා බූන්දලින් හමු වූ තවත් එ වැනි මෙවළමක් තාපසම්දිප්තතා කාලනීර්ණය අනුව අදින් වසර 28,000 කාලයටත් කාලනිර්ණ නිගමන ලැබී ඇත.

මධ්‍යශිලා යුගයට අයත් අත් පොරෝ ආයුධ රත්නපුර දියළු නිධිවලින් අනාවරණය වී ඇති ගල් මෙවළම් වලින් වෙන්කර හඳුනාගැනීම දුෂ්කර වේ. (රත්නපුර දියළු නිධිවලින් අනාවරණය වී ඇති ශිලා මෙවළම් පිළිබඳ දැනගැනීම සඳහා මෙම ලිපි පෙළේ අංක 8 ලිපිය කියවන්න.)

ලංකාවෙන් අනාවරණය වන මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා මෙවළම් ගොන්න විශ්ලේ්ෂණය කර බැලීමේ දී එම මෙවළම් නිර්මාණය කිරීම සඳහා විවිධ අමුද්‍රව්‍ය භාවිත කර ඇති බව හඳුනාගත හැකි ව පවතී. ආචාර්ය සිරාන් දැරණියගලයන් විසින් මෙම මෙවළම් නිමවීම සඳහා භාවිත කර ඇති අමුද්‍රව්‍යය තිරුවාණා (Quartz), කහඳ (Chert), පළිඟු (Chalcedony), යමහල් ස්ඵටික (Igneous crystallines) හා වෙනත් විවිධ ද්‍රව්‍ය (Pigments and miscellaneous materials) වශයෙන් පුළුල් වශයෙන් වෙන්කර දක්වා ඇත. එකී පුළුල් වර්ග තුළ නැවත එවායේ අනු වර්ග පහත පරිදි නැවත වෙන්කර දැක්විය හැකි වේ.

  • තිරුවාණා : විනිවිද පෙනෙන තිරුවාණා, ක්‍ෂිර පැහැ තිරුවාණා, කණිකාමය ක්‍ෂිරපැහැ තිරුවාණා, රෝසපැහැ තිරුවාණා, කණිකාමය රෝසපැහැ තිරුවාණා, අඹතේස්ත
  • කහඳ : පාරභාසක කහඳ, පාරාන්ධ මධ්‍ය කණිකාමය කහඳ, කණිකාමය කහඳ
  • පළිඟු
  • යමහල් ස්ඵටික : කළු ගල්, ඩයෝරයිට්
  • වර්ණක හා විවිධ ද්‍රව්‍යය : රතු හිරියල්, මිනිරන්, තලාතු මිනිරන්, ලුහු යමහල් පාෂාණ
අඩසඳ ආකාර මෙවළමක් හා උල් මෙවළමක් (Perera 2010)

ලංකාවේ මධ්‍යශිලා යුගයේ පවත්නා ගල් ආයුධ ගොන්න පිළිබඳ ව හා ඒවායේ අන්තර්ගත වී ඇති එක් එක් ගල් ආයුධ පිරික්සා බැලීමේ දී ලංකාව තුළ එක් එක් කලාපීය වශයෙන් හෝ පාරිසරික කලාප වශයෙන් විවිධත්වයක් හඳුනාගත නොහැකි බව ඒ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි. ලෝකයේ ප‍්‍රාග් ඓතිහාසික ගල් ආයුධ පිළිබඳ විශෙෂඥයෙකු වශයෙන් පිළිගනු ලබන ආචාර්ය එච්. නිමල් පෙරේරාට අනුව මධ්‍යශිලා යුගය නියෝජනය කරමින් ලොව විවිධ ස්ථාන නියෝජනය කරමින් ලබාගන්නා ලද ගල් ආයුධ එක් ස්ථානයක පොදුවේ තැබුවහොත් කිසිම විශේෂඥයෙකුට ඒවායේ පවත්නා ප‍්‍රදේශීය ලක්‍ෂණ වෙන්වෙන් වශයෙන් හඳුනාගැනීම අපහසු කාර්යයක් වේ. එයින් අදහස් වන්නේ ගෝලීය වශයෙන් වුව සලකා බැලීමේ දී මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා ගල් ආයුධ අතර ප‍්‍රදේශීය විවිධතා නැත්නම් ප‍්‍රදේශීය අනන්‍යතා පිළිබිඹු නොකරණ බවයි.

ජ්‍යාමිතික නොවූ ක්‍ෂුද්‍ර ගල් මෙවළම් අවුරුදු 125,000 දක්වා වූ පෙර කාලයේ ද ජ්‍යාමිතික ගල් මෙවළම් අවුරුදු 28,000 කාලයේ ද හමු වීම යන ලක්‍ෂණය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල් අායුධ පිළිබඳ දැකගත හැකි ලක්‍ෂණයක් වන අතර මේ හැර දිවයිනේ ප‍්‍රාග්ඓතිහාසික වාර්තාවල පසුගිය වසර 28,000 කාලයේ ගල් ආයුධ අතර විශේෂයක් දක්නට නැති බව ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ අදහසයි.

සත්ව අස්ථිවලින් සකස් කරන ලද මෙවළම්

විවිධ ගල් මෙවළම්වලට අමතරව සත්ව අස්ථි භාවිතයෙන් නිිර්මාණය කරන ලද මෙවළම් මධ්‍යශිලා යුගයේ දි බහුල වශයෙන් භාවිත වී ඇත. ලැබී ඇති එ වැනි සාධක අතර බහුල වර්ගය මෙයට වසර 28,500කට පමණ පෙර කාලයට අයත් බටදොඹලෙනින් හමු වූ ඇටකටු හෝ අං ඉලීමෙන් සෑදු කුඩා උල් හෝ රොම්බසාකාර ආයුධ වේ. මෙ වැනි නිර්මාණ කුඩා ප‍්‍රමාණයේ සිට විශාල ඒවා දක්වා හැදි වැනි පතුරු හා උල්කටු හමු වෙයි. ඒ අතුරින් කිතුල්ගල බෙලිලෙනින් හමු වූ දැති සහිත දාර සහිත හැඳි වැනි පතුරු විශේෂ ගණයකට අයත් වෙයි. රාවණා ඇල්ල ගුහාව හා නිල්ගල ලෙන්වලින් ලැබී ඇති හරස් දාර සහිත ඇටකටු පතුරු මේ මෙවළම් හා සමාන වේ. කිතුල්ගල බෙලි ලෙනින් අදින් වසර 12,500කට හා කුරුවිට බටදොඹ ලෙනින් අදින් වසර 28,500 පූර්ව කාලයට අයත් ඇටකටුවලින් සෑදු දිගැටි ඇට බෙලිකටුවලින් සෑදු වටකුරු ඇට ලැබී ඇත. විවිධ දෑ සිදුරු කිරීම වැනි කාර්යයන් සඳහා භාවිත කිරීමට ඇතැයි සිතිය හැකි උල් නීර්මාණය කිරීම සඳහා වඳුරන්ගේ දික් අතට පැළුණු දත් යොදාගෙන ඇති බවට සාධක ලැබී ඇත. එ මෙන් ම වළිකුකුළන්ගේ පාදවල පවත්නා පොරකටු හා පිඹුරන්ගේ හකු ආයකටු මෙන් භාවිත කිරීමට ඇතැයි අනුමාණ කළ හැකි වේ. බොහෝ විට මධ්‍යශිලා සත්ව මෙවළම් නිර්මාණය කිරීම සඳහා වඳුරන් හා රිලවුන් වැනි සතුන්ගේ අත්වල දිගු අස්ථි භාවිත කළ බැව් අදාළ නිදර්ශක පරික්ෂා කිරීමේ දි පැහැදිලි වී ඇත. ගස්වල එල්ලී ගමන් කරන එකී සත්වයින්ගේ එම අස්ථිවල පවත්නා ශක්තිමත් භාවය හේතුවෙන් මෙකී වරණය සඳහා බලංගොඩ මානවයා එළැඹෙන්නට ඇත.

කුරුවිට බටදොඹලෙන කැනීමේ දී අනාවරණය වී ඇති අදින් වසර 16,000-20,000 අතර කාලයට දින නියම කර ඇති මුහුදු මඩු මතස්‍යයාගේ වලිග ඇටය ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භයන්ගේ අනාවරණය වූ කෘති අතර තවත් විශේෂ කෘතියක් වශයෙන් හඳුනාගත හැකි වේ. මෙවැනි මුහුදු මඩු මත්‍යය වලිග කොටසක් 2009 වසරේ අත්තනගල්ල අලවල පොත්ගුල්ලෙන කැනීමේ දී ද අනාවරණය වී ඇත. මෙවැනි මුහුදු මඩු මතස්‍යය වලිග කොටස් බොහෝ විට දියෙහි සිටින මතස්‍යයන් අල්වා ගැනීමේ දී හාපූනය හා සමාන මෙවළමක් වශයෙන් භාවිත කිරීමට ඇතැයි අනුමාණ කළ හැකි අතර එම වලිගයේ පවත්නා කටු ස්වභාවය හා එහි පිහිටීම අනුව මෙකී අනුමාණයට එලැඹීමට අවශ්‍ය පිටිබලය සපයනු ලැබේ.

පවත්නා දිරායාමේ ස්වභාවය හේතුවෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් විවිධ දැව වර්ග හා ශාක කොටස් ද ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිශ්චිත වශයෙන් ම තම දෛනික ජීවන කාර්යයන් සම්පූර්ණ කරගැනීම සඳහා භාවිත කරන්නට ඇති බව ලංකාවේ හා සමාන්තර ප‍්‍රාථමික ජන කණ්ඩායම් පිළිබඳ සිදුකර ඇති මානවවංශ විද්‍යා අධ්‍යයන අනුව තහවුරු වේ. ඒ අනුව, සතුන් දඩයම් කිරීම හා අල වර්ග සාරා ගැනීම වැනි කටයුතු සඳහා පොළු මුඟුරු හා උල් වර්ග, කැපීම් කටයුතු සඳහා උණ පතුරු, විවිධ වැල් වර්ග මෙන් ම දියර වර්ග ලබාගැනීම සඳහා ලබු කබල්, පොල්කටු වැනි ගණැති බහාලුම් භාවිතය පිළිබඳ බලංගොඩ මානවයා දැන සිටින්නට ඇත.

අත්තනගොඩ අළුලෙන
බුලත්සිංහල ෆා-හියං ලෙන
කුරුවිට බටදොඹලෙන
කිතුල්ගල බෙලිලෙන
සීගිරිය ආසන්නයේ පිහිටි පොතාන ගුහාව
බුලත්සිංහල ෆා-හියං ලෙනින් අනාවරණය වූ මානව සැකිල්ලක්
උඩවලවේ නිම්ණයෙන් අනාවරණය වූ බලංගොඩ උල් ආයුධ
ගල් මෙවළම් (Deraniyagala 1992)
මධ්‍යශිලා අස්ති මෙවළම් (Deraniyagala 1992)
බටදොඹලෙනින් අනාවරණය වූ මඩු මතස්‍යය වලිග කොටස (Deraniyagala 1992)

ඉදිරි ලිපියෙන් : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගයේ ජීවනෝපාය, හුවමාරුව, ජනාවාස, අභිචාර හා වාස්තුවිද්‍යාව

----------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.01.08 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

පොළොන්නරු යුගයේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය

ප‍්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ

මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව.

ප‍්‍රියන්ත කුමාර මාරසිංහ

ශ‍්‍රී ලංකාවේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ පැහැදිලි සාධක හමුවන්නේ 1993 දී කළ අනුරාධපුර අභයගිරි විහාර භූමියේ කැනීම් මඟිනි. එහි දී රන් කහවණු නිෂ්පාදනය සඳහා භාවිත අච්චු 8ක් ද කාසි නිෂ්පාදන කම්හලක නටඹුන් ද, විවිධ බරවලින් යුතු අක්‍ෂර කෙටූ ස්වර්ණ ඵලක පිණ්ඩ ද කැඞීගිය රන් කහවණු කොටස් 2ක් ද ඇතුළුව රන් කහවණු 22ක් සොයාගෙන ඇත (කුලතුංග 1994:15). මෙයින් අච්චු භාවිත කරමින් වාත්තු තාක්‍ෂණය අනුසාරයෙන් නිෂ්පාදිත කාසි පිළිබඳ පැහැදිලි සාධක හමු වී ඇත. ඒ අනුව ක‍්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වල මෙරට භාවිතයේ පැවති මධ්‍ය කාලීන රන් කහවණු සඳහා ප‍්‍රත්‍යක්‍ෂයෙන් ම භාවිත කර ඇත්තේ වාත්තු තාක්‍ෂණය බව පැහැදිලි වේ.

පොළොන්නරු යුගයේ කාසි නිෂ්පාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනීයන කරුණක් වන්නේ ඒ පිළිබඳ සාධක මෙතෙක් පැහැදිලිව අනාවරණය කොට නොමැති බවයි. රන් කහවණු නිපද වූ ආකාරයට ම සිංහල තඹ මස්ස කාසිය නිෂ්පාදනය කරන්නට ඇති බවත් මේවා මුලින්ම රනින් නිපද වූ අතර පසුව බාල රන් රිදී හා තඹවලින් නිර්මාණය කරන්නට ඇති බවටත් එක් මතයකි (කල්දේරා 1959:16).

පොළොන්නරුවේ තඹ මස්ස කාසි නිෂ්පාදනය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන ප‍්‍රධාන කරුණක් වනුයේ අච්චු මගින් වාත්තු නොකළ බවයි. ඒ සඳහා අනුගමනය කළ තාක්‍ෂණික විධික‍්‍රම සම්බන්ධයෙන් වැදගත්වන නිර්ණායක කිහිපයක් මෙම අධ්‍යයනයේ දී හඳුනාගත හැකි විය.

  • කාසි අච්චු හමු නොවීම
  • කාසි සඳහා ලෝහ මැනගත් ප‍්‍රමාණ පුවරු හමුවීම
  • කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල මධ්‍යගතවීමේ වෙනස්කම්
  • කාසිවල වටදාරයේ තැලුම් සළකුණු දක්නට හැකිවීම
  • කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව
  • කාසියේ බර හා ඝණත්වයේ ඇති වෙනස්කම්
  • සළකුණුවල දැකිය හැකි රූපමය විවිධත්වය
  • විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුත් කෝව බහුලව හමුවීම
  • තලාගත් ලෝහ ඵලක හා වෘත්තාකාර ලෙස කාසියේ ප‍්‍රමාණයට සකසාගත් රූප රහිත ඵලක හමුවීම
  • ලෝහ ප‍්‍රමාණවත් නොවූ කාසි හමුවීම

කාසි නිෂ්පාදනය සඳහා වාත්තු තාක්‍ෂණය යොදාගත්තේ නම් එක් එක් කාසියක් සඳහා වෙනවෙනම අච්චුවක් භාවිත කිරීමට සිදු වේ. 1981 සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය මඟින් කරන ලද කැනීම් හා පර්යේෂණ මඟින් එසේ ඉවත් කළ අච්චු හෝ කොටස් කිසිවක් හමු වී නොමැති බවට පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් වාර්තා සාක්‍ෂි දරයි.

ලෝහ පිණ්ඩ තලා සැකැසූ ඵලක

ලෝහ භාවිතයෙන් කිසියම් හෝ නිෂ්පාදන ක‍්‍රියාවලියකට දායක වූ බවට අනුමාන කළහැකි පුවරු විශේෂයක් හමු වී ඇත. මේවා කාසි නිෂ්පාදනය සඳහා කෙසේ උපයෝගී කරගත්තා දැයි පැහැදිලි සාක්‍ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැත. මේවායෙහි උපයෝගීතාව අනුව සමබර මෙන්ම කෙටි කාලයකින් විශාල ප‍්‍රමාණයක් එකවර නිෂ්පාදනය කරගැනීම මූලික අරමුණ වී තිබේ. ඒ අනුව සමබර ඒකක විශාල ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ බවට සාධක ලැබී ඇත්තේ කාසි පමණි. එබැවින් ලෝහ කාසි නිෂ්පාදනයේ කිසියම් පියවරක් සඳහා යොදාගත් තාක්‍ෂණික උපකරණයක් විය හැකි ය. ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය කුලතුංග මේවා කාසි අච්චු විශේෂයක් බවත් ඒවා මගින් මුද්‍රා තැබීමේ තාක්‍ෂණයේ තවත් ප‍්‍රභේදයක් පිළිබඳ තොරතුරු උත්පාදනය කරගත හැකි බවත් අදහස් කරයි (කුලතුංග 1994:16).

සමමිතික අක්‍ෂයේ පරස්පරතා

මුල්කාලීන කැනීම්වලින් පුවරු වර්ග දෙකක් හමු වී ඇත. ඒවා පෙළකට දහය බැඟින් වූ පේළි දහයකින් යුත් කුහර සියයකින් සමන්විත වේ. මෙම සිදුරු තුළ තැන්පත්වන ලෝහ ප‍්‍රමාණයන් අනුව කාසියකට සරිලන ලෝහ ප‍්‍රමාණයක් බව අත්හදා බැලීමෙන් තහවුරු කරගත හැකි විය. ඒ අනුව ලොකු සිදුරු සහිත පුවරු මස්ස කාසි සඳහාත් කුඩා පුවරු අටෙන් එකේ (අක මස්ස) කුඩා කාසිවලට සරිලන ලෝහ ප‍්‍රමාණ සකස් කරගැනීම සඳහාත් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ අනුව මේවා කාසි නිෂ්පාදනයේ දී මූලික කාර්යයක් ලෙස කාසිවල තිබිය යුතු ලෝහ බර තුලනය සඳහා ලෝහ ප‍්‍රමාණ සකසා ගත් ප‍්‍රමාණ පුවරු ලෙස පැහැදිලිව ම නිගමනය කළ හැකි ය.

ප‍්‍රමාණ පුවරු

කෝවක දමා අධික තාපයකින් උණුකළ ලෝහ දියර මේවායෙහි කුහරවලට වත්කළ බවක් පෙනේ. අධික තාපය හේතුවෙන් පිළිස්සීමට ලක්වූ බවට සාධක දක්නට ලැබේ. බහුල වශයෙන් හමුවන මේවා කාසි නිෂ්පාදනයේ දී එක් එක් කාසියකට අවශ්‍ය ලෝහ ප‍්‍රමාණය හා කාසියේ තිබියයුතු ලෝහ බර පිළිබඳ සමානත්වයක් රඳවා ගැනීමට භාවිත මිණුම් පුවරු හෝ ප‍්‍රමාණ පුවරු යැයි ගැනීම වඩාත් යෝග්‍යය වේ. මේවායෙහි උපයෝගීතාව පිළිබඳව මනා අවබෝධයක් නොතිබුණු හෙයින් මේවා කාසි අච්චු වශයෙන් වැරදි ලෙස අර්කථකතනය කර තිබිණි.

ලෝහ උණුකරගත් කෝව

පොළොන්නරු යුගයේ ලෝහ තාක්‍ෂණය පිළිබඳ සාධක සෙවීම සම්බන්ධයෙන් 2012 වර්ෂයේ සිදුකළ ගවේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස තවත් පුවරු දෙකක් පිළිබඳ සාධක සොයාගත හැකි විය. ඒ පිළිබඳ පරිමාණානුකූල සටහනක් පහත දැක්වේ.

ප‍්‍රමාණ පුවරු පුවරු අංක 1 හා 2

ප‍්‍රමාණ පුවරු 1 : මෙම ප‍්‍රමාණ පුවරුවේ එක් කුහරයක් මිලිමීටර් 12ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 25ක් හා මතුපිට මිලිමීටර් 30ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 30කි. සම්පූර්ණයෙන් ශේෂ සාධක සහිත මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවක පෙළකට දහය බැඟින් වූ පේළි දහයකින් යුත් කුහර සියයකින් යුක්ත වේ. එම පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්ත වූයේ නම් එහි දිග පළල සෙන්ටි මීටර් 42X42 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු 2 : මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 17ක් හා මතුපිට මිලිමීටර් 23ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්ත වූයේ නම් එහි දිග පළල සෙන්ටි මීටර් 38X38 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු පුවරු අංක 3 හා 4

ප‍්‍රමාණ පුවරු 3 : මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 13ක් හා මතුපිට මිලිමීටර් 17ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මෙම පුවරුවක් කුහර සියයකින් යුක්ත වන අතර එහි දිග පළල සෙන්ටි මීටර් 23X23 තරම් වේ.

ප‍්‍රමාණ පුවරු 4 : මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 5ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 6ක් හා මතුපිට මිලිමීටර් 11ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 18කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්ත වූයේ නම් එහි දිග පළල සෙන්ටි මීටර් 16X16 තරම් විය යුතු ය.

මෙතෙක් ආළාහන පරිවෙණ ක්‍ෂේත‍්‍රයෙන් බහුලව හමු වූ අංක 3 සහ 4 යටතේ විස්තර කෙරෙන ප‍්‍රමාණ පුවරුවලට වඩා වෙනස් ප‍්‍රමාණවලින් යුත් පුවරුවල කොටස් කිහිපයක් ආරාමික පරිශ‍්‍රයෙන් බැහැර පරිශ‍්‍රයක් වූ ඇතුළුනුවර ආසන්නයේ උතුරු ප‍්‍රාකාරය ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් සොයාගත හැකි විය. පොළොන්නරුවේ ලෝහ භාවිතය පිළිබඳ සාධක සොයාගැනීමේ අපේක්‍ෂාවෙන් සිදුකළ මතුපිට ගවේෂණවල දී සොයාගත හැකි විය. අංක 1 සහ 2 යටතේ මේවා පිළිබඳ විස්තර දැක්වේ. මෙම පුවරු ප‍්‍රමාණයෙන් විශාල වේ. මෙයින් නිපදවනු ලබන ලෝහ පිණ්ඩය තරමක් විශාලවන අතර වැඩි ලෝහ ප‍්‍රමාණයක් ඊට අන්තර්ගත වේ.

ප‍්‍රමාණ පුවරු බහුල වශයෙන් හමුවීම තුළ මේවා කවර නම් නිෂ්පාදනයක් සඳහා උපයෝගී කරගත්තේ ද යන්න ගැටළුවක් විය. එකම ආසන්න වශයෙන් හෝ බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් සඳහා යොදාගත් බව පැහැදිලි ය. බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් ලෙස මෙතෙක් හමු වී ඇත්තේ කාසි සහ ඒවායෙහි අනුකොටස් පමණි. ඒ අනුව මෙම ප‍්‍රමාණ පුවරු කාසි නිෂ්පාදනය සඳහා ම යොදාගත් තාක්‍ෂණික උපකරණයක් බව කිව හැකි ය.

මස්ස කාසි සහ අක මස්ස කාසි සඳහා වෙන වෙන ම සකස්වූ ප‍්‍රමාණ පුවරුවක් භාවිත වූ බවට සාධක පොළොන්නරුවෙන් බහුලව හමු වී තිබේ. එහෙත් විශාල ප‍්‍රමාණ පුවරුවලින් ලබාගත් ලෝහවලින් කළ කාසි මෙතෙක් හමු වී නොමැති තරම් ය. ඒ අනුව මේවායෙහි අන්තර්ගත ලෝහ ප‍්‍රමාණයට සරිලන ප‍්‍රමාණයේ කාසියක් පොළොන්නරු යුගයේ භාවිතයේ තිබුණේ ද යන්න පිළිබඳ සාධක මෙතෙක් ලැබී නැත. ලෝහ ප‍්‍රමාණයට සාපේක්‍ෂව බැලූ විට චීන කාසියක ලෝහ ප‍්‍රමාණයට සරිලන තරම් වේ. මේ අනුව චීන කාසි නිෂ්පාදනයත් පොළොන්නරුවේ සිදු වූයේ ද යන්න සිතා බැලිය යුත්තකි. මහා පරිමාණ වශයෙන් චීන කාසි හමුවීමත් අග්නිදිග ආසියාතික රටවල් අතරින් චීනය හා වැඩි සබඳතා පැවතීමත් මේ සඳහා බාහිර සාධක ලෙස ගත හැකි ය.

පොදුවේ ගත් කළ පුවරු නිෂ්පාදනයේ දී අනුගනමය කර ඇත්තේ සාමාන්‍ය ක‍්‍රමවේදයකි. පුවරුවල චතුරශ‍්‍රාකාර හැඩය ලී පතුරු ආධාරයෙන් ලබාගෙන ඇති අතර අභ්‍යන්තර කුහර වෘත්තාකාර ලීයක ආධාරයෙන් තබාගත් බව පෙනේ. පුවරුවේ ඝණත්වය එහි අන්තර්ගත කුහරයේ මතුපිට විශ්කම්භය හා ලෝහ ධාරිතාවයට අනුව එකිනෙකට වෙනස් වේ. එහි මතුපිටට නෙරාගිය කොටස් ඇඟිලි මගින් තෙරපීමෙන් සමතුලිත කරගත් ලකුණු දැකිය හැකි ය. සමස්තයක් ලෙස ගත් කල මෙම පුවරු අනුව පොළොන්නරු යුගයේ නිෂ්පාදිත තඹ මස්ස කාසි සඳහා ප‍්‍රමාණ ගැනීමේ දී මෙවැනි ක‍්‍රමවේදයක් අනගමනය කරන්නට ඇති බව සිතිය හැකි ය. මේ තුළින් නිෂ්පාදිත ලෝහ පිණ්ඩවල බර අනුපාතය තඹ කාසිවල විවිධ කොටස්වල අනුපාතයන්ට සමාන ය.

කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල මධ්‍යගතවීම එකිනෙකක් පාසා වෙනස්කම් දැකිය හැකි ය. කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ වෘත්තවල විශ්කම්භය එකම ප‍්‍රමාණයක් වුව ද දෙපැත්ත සමාන බවක් දක්නට නැත. එක් පැත්තක සම්පූර්ණ බිංදු සහිත වට කවයක් ඇතත් අනෙක් පස වට කවයේ බිංදු එක් කෙළවරක සම්පූර්ණවත් අනෙක් කෙළවර අඩක් හෝ ඊටත් අඩු ප‍්‍රමාණයක් ලෙසත් දැකිය හැකි ය. දෙ පැත්ත සමබරව ඇත්තේ ඉතාමත් අඩු කාසි ප‍්‍රමාණයක ය. මේ තත්ත්වය අච්චු පියන් දෙකක් භාවිත කාසියක දක්නට නැත.

කාසියෙහි වෘත්තය සකස් කිරීම සඳහා වට දාරය තලා රවුම් කරගත් බවට සළකුණු සෑම කාසියකම පාහේ දැකිය හැකි ය. එහි දී කාසියේ ප‍්‍රතිමුඛය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු වුව ද විශේෂත්වයකින් තොරව කාසියේ එක් පැත්තක රූප හා වට දාරය ආරක්‍ෂා වන පරිදි තෙරපීමේ දී පිටතට ගලාගිය කොටස් පමණක් කපාගෙන ඇති බව පෙනේ. අනතුරුව කිණීහිරියක් හෝ එවැනි ඝණ වස්තුවක සිටුවා තබා අල්ලා වටදාරයේ වෘත්තාකාර බව සකැසීම සඳහා තලා රවුම් කරගත් බව පෙනේ. මෙම ක‍්‍රමවේදය කාසියේ ඝණත්වය වැඩිවීමට ද හේතු වූවායැයි සිතිය හැකි ය.

අච්චුවක ආධාරයෙන් කාසිය නිෂ්පාදනය කළේ නම් වට දාරය කැපීම අනවශ්‍ය කරුණකි. අච්චුවෙන් වෘත්තාකාර බව නිරායාසයෙන් ම සෑදෙන බැවිනි. මේ බව තහවුරු කරගතහැකි සාධකයක් ලෙස පොළොන්නරුව කෞතුකාගාරයේ 3 වන ගැලරියේ ප‍්‍රදර්ශනය සඳහා තබා ඇති රන් ආලේපිත මධ්‍ය කාලීන කහවණුව දැක්විය හැකි ය. එහි නිර්මාණ තාක්‍ෂණය පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වූ විශේෂ කරුණක් ලෙස එය අච්චුවක් ආධාරයෙන් වාත්තු කළ කාසියක් බවයි. එහි වට දාරය අච්චුවෙන් සැකැසුණු ආකාරයෙන් ම දක්නට ඇති අතර කැපුම් හෝ තැලුම් සළකුණු දක්නට නොවේ.

කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතා ද කාසි එකිනෙකක් පාසා දැකිය හැකි තවත් සාධකයකි. කාසියක අභිමුඛ රූපය නිතරම සිරස් ආකාරයෙන් ගත්විට ප‍්‍රතිමුඛයේ රූපය වම්පසට හෝ දකුණු පසට හැඩවන ලෙසත් විටෙක සමානවත් තවත් විටෙක ප‍්‍රතිවිරුද්ධ ලෙසත් විවිධ පැතිවලට හැරී පිහිටා ඇත. මෙම ලක්‍ෂණය පිළිබඳව වැඩිදුර අධ්‍යයනයේ දී නිගමනය කළහැකි වූයේ කාසියේ නිෂ්පාදන අවස්ථා හෝ නිෂ්පාදන වාර පිළිබඳ කිසියම් ඉඟියක් ලබාගත හැකි බවයි.

කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව අනුව ලීලාවතී අධිකාරියට අයත් කාසි (290) සංචිතය නිෂ්පාදන අවස්ථා දහයක් යටතේ වර්ග කළ හැකි වේ. ලීලාවතී අධිකාරියට අයත් සෙසු කාසි ද වර්ග කිරීමේ දී මෙම දහයෙන් එක් කොටසකට අයත් බව පැහැදිලි වේ. ඒ අනුව ලීලාවතී අධිකාරිය යටතේ අවස්ථා දහයක දී හෝ කාසි නිෂ්පාදන ශිල්ප ශ්‍රේණීන් දස දෙනෙකු යටතේ හෝ මුද්‍රා දහයකින් හෝ කාසි නිෂ්පාදනය කළබව පැහැදිලි ය. ධර්මාශෝකදේව කාසිවල (48) අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සිරස්භාවයේ පරස්පරතා දක්නට නැත. එයින් ගම්‍ය වන්නේ වසරක් තරම් වූ කෙටි රාජ්‍ය කාලයක් තුළ එක් අවස්ථාවක දී හෝ එක් මුද්‍රාවක් යටතේ හෝ කාසි නිෂ්පාදනය කළ බවයි. සහස්සමල්ල අධිකාරිය යටතේ අවස්ථා හයක දී හෝ කාසි නිෂ්පාදන ශිල්ප ශ්‍රේණීන් හය දෙනෙකු යටතේ හෝ මුද්‍රා හයකින් හෝ කාසි නිෂ්පාදනය කළබව කාසි (538) සංචිතය පිරික්‍ෂීමේ දී පැහැදිලි වේ.

විජයබාහු, පරාක‍්‍රමබාහු, ලීලාවතී කාසි

කාසි එකිනෙකක් පාසා මතුපිට මුද්‍රාව ගෙන ගැසූයේ නම් සියලුම කාසිවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව එකිනෙකට වෙනස් විය යුතු ය. නැතහොත් මුද්‍රා තබන්නා විසින් එම කාර්යය පමණක් සිදු කළ අතර ඔහු ඒ සඳහා සූදානමින් සිටි බවක් හැෙඟ්.

කාසියේ බර හා ඝණත්වය අතර වෙනස්කම් දැකිය හැකි ය. තඹ මස්ස කාසියේ බර ග‍්‍රෑම් 3-4 ත් අතර හා ඝණත්වය මිලිමීටර් 1 – 2.5 ත් අතරත් සෑම කාසියක දී ම වෙනස් අගයක් ගනී. ඝණත්වය එකම කාසියේ එක් එක් ස්ථානයන්හි අඩුවැඩිවීම් ද දක්නට පිළිවන. වාත්තු තාක්‍ෂණයෙන් කළ කාසි ඝණත්වයෙන් අඩු විය යුතු ය. රන් කහවණු කාසිවල ඝණත්වය මිලිමීටර් 1 තරම් වේ. පොළොන්නරු කෞතුකාගාරයේ තෙවන මැදිරියේ ප‍්‍රර්ශනය සඳහා තබා ඇති කහවණුව තඹ ලෝහයෙන්  වාත්තු කොට ඒ මත රන් ආලේපිත කළ පසුත් ඝණත්වය තඹ මස්ස කාසිවලට වඩා අඩු බවක් දැකිය හැකි ය. ඒ අනුව ඝණත්වයේ දැකිය හැකි පැහැදිලි වෙනස්කම වාත්තු තාක්‍ෂණය හා මුද්‍රා තාක්‍ෂණය අතර දැකිය හැකි පැහැදිලි විශේෂත්වයකි. අභයගිරි රන් කහවණු වාත්තු කිරීම සඳහා යොදාගත් අච්චුවල මිණුම් අනුව ඒවා මඟින් නිෂ්පාදනය වන කාසියක ඝණත්වය පැහැදිලිව හඳුනාගැනීමට හැකි වේ.

රාජ රාජ රජුගේ කාසියක්

කාසියේ සළකුණුවල රූපමය විවිධත්වයක් දැකිය හැකිවීම මෙහි ලා දැක්විය හැකි තවත් විශේෂත්වයකි. අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල හිස හා පළඳනාව දැක්වීමේ දී නිර්මාණයට පහසු ලෙස යොදාගත් බව පෙනේ. අභිමුඛයේ දකුණතේ ඇඟිලි එක් කාසියක දිගු ලෙසත් තවෙකක කුඩාවටත් දක්වා ඇති අවස්ථා හමු වේ. මේ අයුරින් ම අත්වල වූ සළකුණුවල ද ශිල්පීය වෙනස්කම් පෙනේ. එක් එක් අධිකාරිය යටතේ නිකුත් කළ කාසිවල අක්‍ෂරයන්හි ද මේ වෙනස පැහැදිලිව දක්නට ඇත. ප‍්‍රතිමුඛයෙහි නිධි රූපයට යටින් ඇති නිධි කෝෂ්ඨය ලෙස දක්වන කොටු සළකුණ ඇතැම් කාසියක දක්නට නොවේ.

ලෝහ ප‍්‍රමාණවත් නොවූ කාසි යනුවෙන් මෙහි දී අදහස් කරන ලද්දේ කාසි සංචිතය පරීක්‍ෂා කිරීමේ දී වෘත්තාකාර බව සකස් කිරීම සඳහා නොතැලූ කාසි රාශියක් හඳුනාගත හැකි විය. මේවායෙහි අභිමුඛ ප‍්‍රතිමුඛ තලයන්හි වටා ඇති බිංදු සහිත වෘත්තය දක්නට නොමැත. මෙම ලක්‍ෂණය සහිත කාසි නිර්මාණය වන්නේ කාසිය සඳහා ලෝහ ප‍්‍රමාණවත් නොවූ අවස්ථාවල දී ය. මෙම තත්වය අච්චුවක් මගින් වාත්තු තාක්‍ෂණය භාවිතයෙන් කළ කාසියක අපේක්‍ෂා කළ නොහැකි ය. මන්ද යත් අච්චු පියන් දෙක එක් කිරීමෙන් සෑදෙන ඇතුළත කාසි කුහරය සම්පූර්ණ කාසියේම අච්චුවක් වන අතර එය පුරාම උණු ලෝහ ගලායෑම සිදුවේ වාත්තු තාක්‍ෂණයේ දී අච්චුව සිරස් ලෙස සිටුවා ලෝහ වත් කිරීම හේතුවෙන් නිර්මාණය වන කාසිය සඳහා ලෝහ ප‍්‍රමාණවත් නොවූයේ නම් අවම වශයෙන් කාසියේ එක් පසෙක හෝ බිංදු සහිත දාරය සම්පූර්ණ විය යුතු ය. එහෙත් මෙම කාසිවල සම්පූර්ණ වට දාරය ම දක්නට නොමැත. මෙසේ වියහැක්කේ තිරස් ලෝහ ගලායාමක් සහිත නිෂ්පාදන තාක්‍ෂණ ක‍්‍රමවේදයක දී පමණි. එනම් සමතල මතුපිටක නිර්මිත අච්චුවක මධ්‍යයට වත්කළ උණු ලෝහ මත අනෙක් අච්චුව තබා තද කිරීමෙන් සිදුවන මධ්‍යගත තෙරපුම අනුව සිදුවන වෘත්තාකාර ලෝහ ගලායෑම හේතුවෙනි. මෙම සාධක පොළොන්නරු කාසි තාක්‍ෂණය සම්බන්ධයෙන් වැදගත් සාධක වේ.

අච්චුවක් භාවිත කොට කාසි නිපදවූයේ නම් කාසි සංචිතයෙන් කිසියම් හෝ කාසි ප‍්‍රමාණයක් සමබරතා හා සමානතා පෙන්නුම් කළ යුතු ය. නැතහොත් එක් කාසි අච්චුවකින් නිපදවිය හැක්කේ එක් කාසියක් පමණක්ය යන නිගමනයට එළඹීමට සිදු වේ. බොහෝ විට අච්චුවේ නිෂ්පාදිත කාසිය නිරුපද්‍රිතව ලබා ගැනීමට නම් අච්චුව කඩා ඉවත් කළ යුතු වේ. කෙසේ වෙතත් කාසි අච්චු හමු වී නොමැතිවීම අනුව ද පොළොන්නරු කාසි සඳහා අච්චු භාවිත නොකළ බව ඒත්තු ගැන්වේ. එසේ නොමැති නම් පොළොන්නරුවේ මෙතෙක් සිදුකොට ඇති කැනීම් හා පර්යේෂණයන්හි සීමා සහිත බව සාධක දුර්ලභත්වයට හේතු වන්නට ද පිළිවන.

මේ සාධක සැලකිල්ලට ගත් කළ පොළොන්නරුවේ තඹ මස්ස කාසි නිෂ්පාදන ක‍්‍රම වේදයේ විශේෂත්වයක් දැකිය හැකි ය. කාසිවල සිරස්භාවයේ පරස්පරතා අනුව එළැඹි නිගමනය අනුව කාසියේ එක් මුහුණතක් නිරුපද්‍රිතව තිබූ අතර අනෙක් මුහුණත නිරන්තරයෙන් වෙනස් වූ බවක් පෙනේ. කාසියේ අභිමුඛ හෝ ප‍්‍රතිමුඛ ස්වරූපය සහිත මුද්‍රාව කිණිහිරියක් මත හෝ එවැනි ඝණ වස්තුවක සාදා ගන්නා ලදි. කාසියේ ප‍්‍රතිවිරුද්ධ පැත්තේ රූපය සහිත මුද්‍රාව මිටින් අල්ලාගත හැකි පරිදි මිටක් සහිතව කළ උස් පහත් කළහැකි පරිදි කිණිහිරියට ම සම්බන්ධ කළ කොටසක් විය යුතු ය.

අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව අනුව එක හා සමාන කාසි හමුවන්නේ අච්චු දෙක නොවෙනස්ව තිබූ බැවිනි. එය නිෂ්පාදන අවස්ථා අනුව අච්චු සවි කිරීමේ දී ඇති වූ වෙනස්කම අනුව එකම හැඩයෙන් යුතු කාසි සමූහයක් නිෂ්පාදනය වේ. ප‍්‍රමාණ පුවරුවකින් නිෂ්පාදනය වන ලෝහ පිණ්ඩ සියය අනුව තනාගන්නා ඵලක සියයට අනුව අවම වශයෙන් කාසි සියයක් හෝ එකම හැඩයෙන් යුක්ත වේ.

අභයගිරියේ කාසි නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ මෙවැනි ප‍්‍රමාණ පුවරු භාවිතයක් නොතිබූ බව මෙවැනි සාධක අභයගිරියෙන් හමුනොවීම තුළින් පැහැදිලි වේ. අභයගිරියෙන් කාසි අච්චු හමුවන අතර පොළොන්නරුවෙන් හමු නොවේ. ඒ අනුව අනුරාධපුර අභයගිරියේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය හා පොළොන්නරුවේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය අතර පැහැදිිලි වෙනසක් දැකිය හැකි ය. අච්චු මඟින් කාසි නිෂ්පාදනය කිරීමේ දී කාසියට සරිලන ලෝහ ප‍්‍රමාණ වෙනවෙනම උණු කිරීමට අවශ්‍ය නොවූ බැවින් ඒ සඳහා එක් විශාල කෝවක කාසි අච්චු ප‍්‍රමාණයට සරිලන ලෝහ ප‍්‍රමාණය එකවර උණු කරගන්නට ඇත. පොළොන්නරු කාසි ක‍්‍රමයේ දී කාසි සියයක් සඳහා (එක් ප‍්‍රමාණ පුවරුවක්) සරිලන ලෝහ එකවර උණුකර ගන්නට ඇතිබව ප‍්‍රමාණයෙන් විශාල කෝව අනුව සිතිය හැකිය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගත් පසු පොළොන්නරුවේ තඹ මස්ස කාසි නිෂ්පාදන ක‍්‍රමවේදය මුද්‍රා තැබීමේ තාක්‍ෂණය (Striking technique)  හා පීඩන තාක්‍ෂණය අනුව සකස් කළ බව පෙනේ. මෙම තෘක්‍ෂණික ක‍්‍රමවේදය පූර්ව කාලීන හා සම කාලීන යුරෝපයේ සහ මැදපෙරදිග රටවල ලෝහ කාසි නිෂ්පාදනයේ දී බහුල වශයෙන් භාවිත ක‍්‍රමයයි (Cribb, 1986:86). යුරෝපයේ හා මැදපෙරදිග රටවල භාවිත ක‍්‍රමය වූයේ තුනී ලෝහ තහඩුවක් ගෙන නියමිත ප‍්‍රමාණයකට හා බරකට අනුව කැබලිවලට කපාගනු ලැබේ. ඉන්පසු රත්කරගත් ලෝහ කැබැල්ල සළකුණු කැටයම් කළ අච්චු දෙකකට මැදිවන සේ තබා අච්චුවේ මුදුනතට මිටියකින් පහර දෙනු ලැබේ. පහළින් ඇති අච්චුව ලෝහ හෝ ලී කුට්ටියක තදින් සවිකළ කුඩා කිණිහිරියකි. එය අභිමුඛ අච්චුවයි. ප‍්‍රතිමුඛ සලකුණු කැටයම් කළ උඩ අච්චුව කාසිය තනන්නා විසින් අල්ලා ගනු ලැබේ. මිටියෙන් පහර දෙනු ලබන්නේ ඒ මතටයි.

කලාපීය භාවිතයේ ආභාසයෙන් හෝ ඒ ඒ නිෂ්පාදන ශිල්ප ශේ‍්‍රණින්ගේ ප‍්‍රාගුණ්‍යතාව අනුව තාක්‍ෂණික ක‍්‍රමවේදයන්ගේ විශේෂතා සිදු වූ බව අනුමාන කළ හැකි ය. යුරෝපයේ සහ මැදපෙරදිග අනුගමනය කළ ක‍්‍රමවේදය ම සම කාලීන පොළොන්නරුවේ දී දියුණු තාක්‍ෂණික මට්ටමකින් පැවැති බව ඒ අනුව පෙන්නුම් කරයි.

ඒ අනුව පොළොන්නරුවේ දී ඉහත ක‍්‍රමවේදයේ විශේෂ වෙනස්කම් කිහිපයක් සහිතව කාසි නිෂ්පාදනය කොට ඇති බව පෙනේ. තුනී ලෝහ තහඩුවක් ගෙන නියමිත ප‍්‍රමාණයකට හා බරකට අනුව කැබලිවලට කපාගනු වෙනුවට කාසි සියයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ලෝහ ප‍්‍රමාණය එකවර උණු කොට ප‍්‍රමාණ පුවරුවේ වත්කොට කාසි සියයක් සඳහා නියමිත ප‍්‍රමාණයකට හා බරකට අනුව ලෝහ ගුලි නිෂ්පාදනය කරගනී. නිෂ්පාදනයට අපේක්‍ෂිත කාසි වර්ගයට සරිලන ප‍්‍රමාණයේ මිණුම් පුවරු අනුසාරයෙන් සකසාගත් ලෝහ පිණ්ඩ තැලීමෙන් වෘත්තාකාර ඵලක තනාගත් බවට සාධක පොළොන්නරුවෙන් හමු වී ඇත. එසේ තලාගත් ලෝහ ඵලක වෘත්තාකාර ලෙස කාසියේ ප‍්‍රමාණයට සකසාගත් රූප රහිත ඒවා ය. 1981 සිට 1998 දක්වා පුරාවිද්‍යා කැනීම් වාර්තාවල 31/01, 23/04, 20/09, 21/09, 02/11, 09/11, 12/11, 21/13, 31/13, 20/18, අංක යටතේ විස්තර කොට ඇති ඵලක සහ 2012 වර්ෂයේ ඇතුළුනුවර විජයබාහු මාළිග (භාණ්ඩාගාර ගොඩනැගිල්ල) කැනීමෙන් ලැබුණු ලෝහ පිණ්ඩ මේ සඳහා සාධක වශයෙන් දැක්විය හැකි ය.

කාසි නිෂ්පාදනයේ දී සිදුකරන පීඩනය මධ්‍යගත කිරීමේ අටියෙන් ඵලකවල මධ්‍යය ක‍්‍රමයෙන් උස්වන ලෙස සකසා තිබේ. මෙහි අපේක්‍ෂිත අරමුණ වන්නට ඇත්තේ තෙරපීමෙන් ලෝහ කොටස් අච්චුවෙන් බැහැරවීම අවම කිරීමත් මධ්‍යයේ වූ රූප සළකුණුවල පරිපූර්ණ බව ආරක්‍ෂා කරගැනීමත් විය හැකි ය. කාසියක් ලෙස නිෂ්පාදනය කිරීමේ දී නැවත ද්‍රවාංකයට ආසන්න මට්ටමක් දක්වා උණුකර ගනී. ලෝහ ඵලකය කිණිහිර මත වූ අච්චුවේ තබා ප‍්‍රතිවිරුද්ධ පැත්තේ රූපය සහිත මුද්‍රාව ලෝහ ඵලකය මතත් තබා මිටියකින් පහරක් ගැසීමෙන් කාසිය සඳහා රුපීය ලක්‍ෂණ ඔබ්බවාගත් බව සිතිය හැකි ය. පසුව අච්චුවෙන් ඉවත්කර පිටතට තෙරපී ගිය ලෝහ කොටස් කාසියේ වෘත්තය ආරක්‍ෂාවන පරිදි කපා ඉවත් කරගත් බව පෙනේ. වට දාරය කැපූ කාසිය කිණීහිරය මත එක් අතකින් අල්ලා සිටුවා තබා කුඩා මිටියකින් ගැසීමෙන් කාසියේ වෘත්තාකාර හැඩය ආරක්‍ෂාවන පරිදි සෙමින් තැලීමෙන් සකසා ගත් බවට සාධක දක්නට ලැබේ. මතුපිට මුද්‍රාව ගැසීමේ දී ඇති වූ බර අඩු වැඩිවීම් අනුව හා මුද්‍රාව තැබූ ආකාරය අනුව කාසියේ දෙපැත්තෙහි අසමතුළිතතා හා ඝණත්වයේ අඩු වැඩිවීම් සිදුවන්නට ඇත. අනතුරුව ඇතැම් කාසියක උණු කරගත් රන් දියරයෙහි ගිල්වා ගැනීමෙන් රන් කාසිත් රිදී දියරයෙහි ගිල්වාගත් කාසි රිදී කාසි ලෙසත් සංසරණයේ යොදවා ඇති බව පෙනේ.

පසු කාලීනව මෙහි නිෂ්පාදන ක‍්‍රමයේ වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරමින් මුද්‍රා තාක්‍ෂණයේ දී මිටියකින් පහර දී හස් එබ්බවීම වෙනුවට එක් අච්චුවක් මතට උණු ලෝහ වත්කොට අනෙක් අච්චුව ඒ මත තද කිරීමේ ක‍්‍රමය (පීඩන තාක්‍ෂණය) අනුගමනය කර ඇත. බොහෝ විට පොළොන්නරු කාසි සඳහා මෙම ක‍්‍රමවේදය අනුගමනය කළ බව සිතිය හැකි සාධක කාසිවල දක්නට ලැබේ. පහර දීමෙන් මුද්‍රා තැබීමේදී ඇතිවන ඝර්ෂණයේ තීව‍්‍රතාව අඩුවැඩි විය හැකි ය. එවිට නැවත හණ ගැසීමට සිදු වේ. එවැනි අවස්ථාවල ඇතිවිය හැකි ද්විත්ව රේඛා සටහන් කාසි මත සටහන් වේ. එවැනි සටහන් කාසිවල දක්නට නොමැත. එසේ හෙයින් මුද්‍රා තබා තිබෙන්නේ උණු ලෝහ මත ය. දැඩි ආයාසයකින් තොරව ද්‍රව තත්වයේ ලෝහය මත මුද්‍රාව තබා තදකිරීමෙන් උසස් නිමාවක් සහිත කාසියක් නිෂ්පාදනය කරගත හැකි වේ. ද්‍රව ලෝහ මුද්‍රාවේ සියලු ස්ථානවලට ගමන් කිරීම මීට හේතු වේ. මේ තත්වය රත්කළ ලෝහයක මුද්‍රා තැබීමෙන් අපේක්‍ෂා කළ නොහැකි ය. මැටි අච්චුවක වාත්තු කළ කාසියක ද මතුපිට සියුම් නිරීක්‍ෂණයක දී දක්නට ලැබෙන්නේ රළු පෘෂ්ඨයකි. මැට්ටේ සංයුතිය අනුව මෙම තත්වය අඩුවැඩි වේ. එසේ වුව ද ලෝහයෙන් කළ මුද්‍රාව සියුම් බවකින් යුක්ත වන අතර ඉන් නිෂ්පාදනය වන කාසියේ මතුපිට ඉතා මෘදුව දක්නට තිබේ.

මෙම මුද්‍රා දෙක බොහෝ විට නිෂ්පාදනයට අපේක්‍ෂිත ලෝහවලට වඩා ඉහල ද්‍රවාංකයක් ඇති ලෝහවලින් සකස්කර ගතයුතු විය. මෙම අච්චු මුල්කාලයේ දී ලෝකඩවලින් තනා ඇති අතර පසුව වානේ අච්චු ද භාවිත කර ඇත. අච්චු සැකසීමේ දී ද කාසියේ අභිමුඛ ප‍්‍රතිමුඛ අච්චු වෙනවෙනම සකස් කරගෙන ඇත. මෙහි දී රන් කහවණු නිෂ්පාදිත ශිල්පීන් කාසියේ ඝණත්වය සමසේ බෙදෙන අයුරින් අච්චු පියන් දෙක සකසා ගෙන ඇති බව පෙනේ. නිෂ්පාදනය වන කාසියෙහි සමබරතාව ආරක්‍ෂා කරගැනීම සඳහා අභිමුඛ ප‍්‍රතිමුඛ පියන් දෙකෙහි කේන්ද්‍රීය ලක්‍ෂ්‍යය සමතුලිත කරගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ බව පෙනේ. ඒ සඳහා අච්චු පියන් දෙකම එකම විශ්කම්භයකින් (මි.මි. 33) සකස් කිරීම උපක‍්‍රමය වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ වාත්තු තාක්‍ෂණයේ දී අච්චුව කඩා කාසිය ගැනීම වුවත් මෙම ක‍්‍රමය අනුව අච්චු කිහිප වරක් භාවිතය සඳහා ගෙන ඇති බවයි. හමු වී ඇති අච්චු සියල්ලෙහි ම විශ්කම්භය එක සමානවීම අනුව පියන් වෙනස් වුව ද  ඕනෑම අභිමුඛ හා ප‍්‍රතිමුඛ පියන් දෙකක් එක් කිරීමෙන් කාසියක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබූ බව පැහැදිලි වේ. මෙය ශිල්පීය ප‍්‍රාගුණ්‍යතාව මත ම පමණක් සිදුවූවකි.

රන් කහවණු අච්චු

වාත්තු තාක්‍ෂණය එසේ වුව ද මුද්‍රා හා පීඩන තාක්‍ෂණයේ දී විශේෂ ශිල්පීය නිපුණතාවක් තිබිය යුතුවා සේම මනා පළපුරුද්දක් තිබිය යුුතු බව පෙනේ. මේ සඳහා මුද්‍රා සකස් කිරීමේ දී වාත්තු අච්චුවල මෙන් කාසියේ ඝණත්වයෙන් හරි අඩක් මුද්‍රාවේ නිර්මාණය නොකෙරුණ බව සමීප නිරීක්‍ෂණය මඟින් හඳුනාගත හැකි විය. ඒ ආකාරයෙන් අච්චු දෙක එක්වූ කල නිර්මාණය වන කාසියේ ඝණත්වය සම තත්වයක තිබිය යුතු ය. එහෙත් එකම කාසියේ විවිධ ඝණත්වයන් දක්නට හැකිය.

11 වන සියවසේ දී පොළොන්නරුව පාලනය කළ සොළී පාලකයන්ගේ කාසි ද මුද්‍රා තැබීමේ තාක්‍ෂණයට අනුව නිපදවා ඇති බව පෙනේ. රාජරාජ නාමාංකිත සොළි කාසි මුද්‍රා තැබීමේ තාක්‍ෂණයේ මූලික ලක්‍ෂණ පෙන්නුම් කරන්නකි. රළු මතුපිටක් සහිත ය. තඹ මස්ස කාසියේ මෙන් රූපවල සියුම් හා ති‍්‍රමාණ ලක්‍ෂණ දක්නට නොමැත. සමතුලිත මතුපිටක මුද්‍රා තැබීමෙන් මතුකරගෙන ඇති බවක් පෙනේ. ලෝහ වත්කිරීමෙන් ඉවතට ගිය කොටස් ඒ ආකාරයෙන්ම දක්නට ඇති අතර වට දාරය කපා වෘත්තාකාර ලෙස හැඩගැන්වූ බවක් නොපෙනේ. ඒ අනුව සොළීන් විසින් ලංකාවේ අනුරාධපුරයේ භාවිත කළ අච්චු මඟින් කාසි නිෂ්පාදනය කිරීම වෙනුවට මුද්‍රා තාක්‍ෂණය හඳුන්වා දුන් බවක් පෙනේ. මේ සඳහා දකුණු ඉන්දියානු සොළී බල ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ තාක්‍ෂණික ආභාසය හා තාක්‍ෂණික ක‍්‍රමවේද මුල් වන්නට ඇති බව සිතිය හැකි ය.

සමස්තයක් ලෙස කාසි නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇති ප‍්‍රධාන ලෝහය වන්නේ තඹ ලෝහයයි. මේ සඳහා මිශ‍්‍ර ලෝහ ලෙස යොදාගෙන ඇත්තේ ටින් ලෝහයයි. කාසි නිෂ්පාදනය සඳහා යොදාගත් ටින් සහ තඹ ලෝහ මිශ‍්‍රණය ප‍්‍රතිමා නිර්මාණයේ දී යොදාගත් ලෝකඩ තරම් ශක්තිතාෙවන් ඉහල ලෝකඩ නොවේ. ඒ සඳහා තඹ ප‍්‍රතිශතය වැඩි වූ බවක් පෙනේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • කල්දේරා, එල්. (1959), ලංකාවේ මිල මුදල්, ජාතික කෞතුකාගාරය, කොළඹ.
  • කුලතුංග, ටී.ජී. (2009), පොළොන්නරු යුගයේ දී භාවිතා වූ දේශීය කාසි,  පුලතිසි වංශය,  සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය
  • කුලතුංග, ටී.ජී. (1995), අභයගිරි විහාරයේ කැණීම්වලින් හමුවූ රන්  කහවණු, සංස්කෘතික පුරාණය, ජනවාරි-මාර්තු 1 වෙළුම, මධ්‍යම  සංස්කෘතික අරමුදල, කොළඹ.
  • කුලතුංග, ටී.ජී. (1996), අභයගිරියෙන් හමුවූ කාසි අච්චු, සංස්කෘතික පුරාණය, 1 වෙළුම, 9 කලාපය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්.
    • 01 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1982
    • 02 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1992
    • 03 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1994
    • 04 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1989
    • 06 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1993
    • 20 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1995
    • 21 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1995
    • 22 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1994
    • 23 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1995
    • 28 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1997
    • 31 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1998                                                                           ආළාහණ පරිවෙන පොළොන්නරුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය.
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2012), ඇතුළුනුවර විජයබාහු මාලිග කැණීම (අමුද්‍රිත) මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2012), නැගෙනහිර වෙහෙර කැණීම (අමුද්‍රිත) මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2009), පොළොන්නරුවේ පැරණි කාසි (අමුද්‍රිත) මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය
  • විද්‍යාත්මක වාර්තා හා ක්‍ෂේත‍්‍ර සටහන් පොත් (1981-1998), ආළාහණ පරිවෙන පොළොන්නරුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව.
------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.01.01 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------

අතීත ශ‍්‍රි ලාංකේය දුනුවායා හා ඔහුගේ අවිආයුධ

එච්.එම්. ඉසුරු හේරත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

ඉසුරු හේරත්

ඉපැරණි ශ‍්‍රි ලාංකේය යුද්ධ විද්‍යාව (War science), යුද්ධ සංස්කෘතිය (War culture) හා යුද්ධ තාක්ෂණය (War Technology) පිළිබඳ ව පරික්ෂා කරන විට දුනුවායා සහ ඔහුගේ අවිආයුධ වළට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම, වසර වසර 2,500කට අධික ලිඛිත යුද්ධ ඉතිහාසයකට (War History) හිමිකම් කියන මේ දිවයිනට බලපැවැත්වුණු සතුරු ආක‍්‍රමණ, සහ දිවයිනෙහි අභ්‍යයන්තරයෙහි පැණනැගුණු සිවිල් යුද්ධ වල දී ශ‍්‍රී ලාංකේය දුනුවායාගේ කාර්යයභාරය අතිශය වැදගත් සහ තීරණාත්මක විය. දැනට මෙම ක්‍ෂ්ත‍්‍රයේ පිළිබඳව ජී.ඇස්. ගමගේ, ටී.පී. කුලතුංග, විල්හෙලම් ගයිගර්, ඇම්.බී. ආරියපාල, පී.ඊ.පී.දැරණියගල හා එච්.එම්.ඩී.ආර්. හේරත් යන උගතුන් විසින් පර්යේෂණ කොට තිබේ.

ඉපැරණි ශ‍්‍රී ලාංකේය දුනුවායා

සාමාන්‍ය දුනුවායා දුනුවා, බලතා, දනුගය, ධනුර්ධර, ධනුද්ධර, ඉස්සාස හා ඉෂ්වාස යනුවෙන් ඓතිහාසික කෘතින්වල සහ ශිලාලේඛනවල හඳුන්වා ඇත. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා කාලය තුළ ශ‍්‍රී ලාංකේය දුනුවායා යුහුසුළුව, ඉවසීමෙන් යුතුව ස්වකීය කාර්යභාරය ඉටු කෙරිණි. ශ‍්‍රි ලාංකේය ලිභිත මුලාශ‍්‍රයවලට අනුව විජය, ඵුස්සදේව, විජයබාහු, කොහුකුඹුරේ රටේරාල හා ප‍්‍රංශ සම්භවයක් සහිත අන්දරේ යනාදීහු ඉතා දක්ෂ දුනුවායන් වශයෙන් හඳුනාගත හැකි ය. තවද, බුදු දහම ලංකාවට ලැබෙන විටත් එවකටත් අනුරාධපුර පාලකයා ස්වකීය සහචරයන් ද කැටුව දුනු හී රැගෙන මුව දඩයමේ ගිය බවට සාධක වංශකතාවල සඳහන් වෙයි. එය මහාවංශයේ වාර්තා කරන්නේ මෙපරිද්දෙනි.

“ඒ දෙවන පෑතිස් රජ නුවර වැසියන් දියකෙළි විධාන කොට තෙමේ මුව දඩ කෙළියට ගියේය. සතලිස් දහසකි. මිනිසුන් විසින් පිරිවරණ ලදුයේ පයින්ම දුවමින් මිශ‍්‍රක පර්වතයට ගියේය. ඒ පව්හි වසන දෙවියා රජහට තෙරුන් දක්වනු කැමැත්තේ ගෝණවේද ඇත්තේ තණ පඳුරක් කමින් සිටියාේ දැක්වීය. රජතෙමේ දැක “පමාවුවහු විදිනට යුතු නොවේ” යැයි සිතා දුනුදිය හෙළීය ….” (මහාවංසය, පිටු 50)

පුරාතනයේ සිටි දක්ෂ දුනුවායකු වශයෙන් ඵුස්සදේව යෝධයාට ද වැදගත් ස්ථානයක් හිමිවෙයි. එළාර පරාජය කොට අනුරාධපුරය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව දුටුගැමුණු රජුට භල්ලුක නම් ආක‍්‍රමණයකු ප‍්‍රමුඛ සතුරු හමුදාවක් පරාජය කිරීමට සිදු විය. ඒ අවස්ථවේ දී දුටුගැමුණු රජුගේ මුඛයට ඊ ප‍්‍රහරයක් එල්ල කිරීමට භල්ලුක ගත් උත්සාහය ව්‍යර්ථ කළ ඵුස්සදේව සතුරු නායකයාගේ මුඛයටම ඊ ප‍්‍රහාරයක් එල්ල කළ බව වංශකතාවල සඳහන් වෙයි. මීට අමතරව ක‍්‍රිස්තු වර්ෂ 1818 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව උඩරැටියන් ආරම්භ කළ විමුක්ති අරගලයේ දී බදුල්ල රෙසිඩන්ට් විල්සන්ට මීටර් 300ක් තරම් ඈත දුරක සිට විද මැරූ කොහුකඹුරේ රටේ රාල එවැනි දක්ෂ දුනුවායෙකි.

ඉපැරණි ශ‍්‍රී ලාංකේය දුනු ශිල්ප විධික‍්‍රම පුහුණුව

ඉන්දීයාව, ලංකාව, චීනය, මධ්‍යම ආසියාව යනාදි පෙරදිග ප‍්‍රදේශ වල අධ්‍යපනයේ මුලික අංගයක් වශයෙන් ධනුසිප්ප හෙවත් දුනු ශිල්පය සලකා ඇත. විශේෂයෙන් රජතුමාගේ සිට ප‍්‍රභූන්, සෙබලුන් පමණක් නොව සාමාන්‍ය වැසියන් පවා දුනු ශිල්පය හැදෑරු බව පෙනේ. පැරණි ලාංකාවේ දුනු ශිල්පය ඉගැන්වු ගුරුවරයා ධනු අචරිය නම් විය. ඉපැරණි යුදධ පුහුණු සැසිවල දී අනිවාර්යෙන්ම ඉගැන් වූ ධනුර්ධ ශිල්පයේ දී චන්දාලෝකයට අනුව විදීම, සතුරාගේ ශබ්දයට අනුව විදීම, සතුරාගේ මරු නිල වලට මාරාන්තික ප‍්‍රහාරය එල්ල කිරීම වැනි ක‍්‍රමවේද 12ක් පැවති බව මුලාශ‍්‍රය වල සඳහන් වෙයි. උක්ත දුනු ශිල්ප රැසම හදාළ අයවලුන් අක්ෂණවේදී, ශරවේදී, ශබ්දවේදී හා වාලවේදී යනුවෙන් ප‍්‍රභේද කොට යුද්ධ සේවයට බඳවාගත් බව පෙනේ. විශේෂයෙන්ම, ඵුස්සදේව යෝධයා දුනු විදීම සම්බන්ධව පරතෙරට පැමිණියෙකු බව ඔහු පිළිබඳව ප‍්‍රශංසා මුඛයෙන් වාර්තා කරන සද්ධර්මාලංකාරය මෙසේ පෙන්වාදෙයි.

“… එකලැ ඒ ඵුස්සදේව නම් යෝධයා ශබ්දවේදීය, වාලවේදී, විජජුවේධීය, ශරවේධිය යන විශේෂ විදමන්ද නිමවා උගත එසේම වැලි පිරූ ගල් විද පලවයි. සම් සියක් පට විදියි, අටඟුල් බොල තියා පෝරු විදියි. සොළසාගුල් බොල දිඹුල්පෝරු විදියි. එසේම සාඟුල් බොල යපට තඹට විද පලවයි. ගොඩින් අටඉස්බක් නැන් විදියි. දියෙන් ඉස්බක් විදියි. අනිකුත් ආශ්චය්‍යවත් වූ ශරිරප්ජුක ශරපුෂ්කරිණය, ශර ප‍්‍රසාදය යනාදි වූ බොහෝ විදමන් උගත එසේ හෙයින් ඔහු මෙසේ ධනුශ්ශිල්පයෙහි දක්ෂ බව මුළු ලක්දිව ප‍්‍රසිද්ධ විය …. ” (සද්ධර්මාලංකාරය, පිටු 599).

ෙමපරිද්දෙන් අතීතයේ සිටම විවිධ සුක්ෂම ක‍්‍රමවේද රාශියක් යටතේ හදාල ලාංකේය දුනුවායා විසින් ස්වකීය ශිල්ප පුහුණු වීම සඳහා වෘත්ත අදින ලද ලෑලි පුවරු, පිදුරු පඹයන්, පැද්දෙන කුරුම්බා, මැටි කලස් සහ පියාඹන පක්ෂින් වැනි ජීවි අජීවි වස්තුන් භාවිත කරන ලදි. මූලිකව යුද්ධ කාර්යයට පමණක් නොව පණිවිඩ හුවමාරු කිරීම සඳහා ද දුනු ශිල්පීන් සම්බන්ධ කර ගැනින. දුන්නෙන් හී විදිනාකාරය පූජාවලියේ මෙලෙස විස්තර කරයි.

දුන්නතක් ගෙන්වා යටි පිලාව වම්පස මාපට ඇඟිල්ලෙහි නිය පිට තබා දුන්න (පූජාවලිය 146).

පැරණි ලංකාවේ චතුරංගනී සේනාවට අමතරව විශේෂ දුනු සේනාංක පැවති බව පෙනේ. පරාක‍්‍රමබාහු රජු සතු රාත‍්‍රීකාලයේ සඳ එළියට අනුව සතුරාට විදිය හැකි චන්දාලෝක ධනුර්ධර් නම් රෙජිමෙන්තුවක් මෙන්ම තීක්ෂණ වේධී, කෂණවේධි යනාදි දුනු රෙජිමෙන්තු තිබුණි. මහනුවර යුගයේ උඩරට සේනාව සතුව දුනුකාර නම් රෙජිමේන්තුවක් පැවති බවත් එය මෙහෙයවන ලද්දේ දුනුකාර ලේකම් නම් නිලදරුවා අතිනි. මෙම රෙජිමේන්තුව පිහිටුවන ලද්දේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසිනි. මීට අමතරව පොළෙන්නරුව සහ මහනුවර යුගවල දී දුණු සේනාංකයට ආදිවාසීන්ද අනුයුක්ත කෙරිණි. ඒ ඔවුන්ගේ දඩයම් කිරීමේ සහජ දක්ෂතාවය තිබෙන නිසාවෙනි. දඹදෙණිය යුගයේ ද 900ක දුණු සේනාංකයක් පැවති බව දඹදෙණි අස්න මහත් අබිරුචියෙන් වාර්තා කරයි. ඉපැරණි දුනු සෙබලු යුද්ධයෙන් පසුව ආගමික ස්ථානවලට යම් යම් පරිත්‍යාග ඛරමින් දැහැමිව ජීවත් වු බවට සාධක අම්පාර මුල්ලිකුලම් මලේ ප‍්‍රදේශයෙන් හමු වී ඇති ශිලාලේඛන තුනකින් අනාවරණය වෙයි. එවායේ අන්තර්ගත වන්නේ දුනුසෙබල ගුත්ත තම්ත්තෙකු විසින් මහා සංඝරත්නයට පූජා කළ ස්තූපයක්, විහාරයක් සහ ලෙනක් පිළිබඳ විස්තරයකි.

දුනු සහ ඊතල

ලංකාවේ වැදි ජනයා (මෙම ඡායාරූපය https://en.wikipedia.org වෙබ් අඩවියෙන් ලබාගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

යුද්ධ සඳහා පුහුණු කරන ලද දුනුවායකු සතු ප‍්‍රමුඛතම ආයුධ ද්විත්වය වන්නේ දුන්න (Arrow) හා ඊතලයයි (Bow). අභිධානප්පදීපිකාවේ ඉස්සාස, ධනු, කොදණ්ඩ, සරාසන, චාප යනුවෙන්ද සර, පත්ති, සාධක, බාණ, කාණ්ඩ, මුසු, බුරුප්ප, තේජස යන නමින් ඊතලය ද හඳුන්වා ඇත. මධ්‍ය කාලීන යුගයේ රචිත දඹදෙණි අස්නට අනුව යොන් දුනු, තත්තාරි දුනු, ගල් දුනු, මාර දුනු, ඕලක්කම දුනු, කළුදුනු, කළුවැල් දුනු, නඩවැල් දුනු, නඩහඩු දුනු, මැඩහඟු දුනු, මිටි දුනු, උස් දුනු, චන්දාවංක දුනු, තිවංක දුනු යනාදී වශයෙන් දුනු වර්ග 21ක ලැයිස්තුවක් දක්වා ඇත. නියමාකාර දුන්න මාළුවකුගේ පිටේ හැඩයට සමාන විය. මූලිකවම දුන්න අර්ධ කවාකාරව නවා කෙලවර දෙකට අඟලක් පමණ මෙහායින් කට්ටක් හෝ මැලියම් මිශ‍්‍රිත වරපට හෙවත් දුනුදිය සවිකර ගැනීම සඳහා ලෝහමය මුද්දක් එකතු කරන ලදි. දුනුදිය හෙවත් දුනු ලනුව සඳහා නුග පට්ට, ගෝණ බඩවැල්, නියදි, අරළු යනාදි ශාකමය සහ මාංශමය දාව්‍ය යොදාගත් අතර දුනු ලීය සඳහා කළු, කළුවැල්, වේවැල්, සින්දුරම්, යනාදි ගස්වර්ග යොදා ගන්නා ලදි. ඊතලය සඳහා ගැටවණ, කොබ්බෑ, කැති දෙමට, වේවැල්, කුකුරුමහන් සහ කරඩු වැනි සැහැල්ලු දැව වර්ග භාවිත කෙරිණි. ඊ හිස් (Arrow head) සඳහා යකඩ, සත්ව අට කටු හා තියුණු ලී ප‍්‍රයෝජනයට ගැණිනි. තවද යුධ ඇතුන්, අශ්වයන් ඝාතනය කිරීම සඳහා ඉපැරණි සිංහල දුනුවායන් ගෝකණ්ණ නම් විශේෂ ඊතලයක් නිපදවා ඇති දුනු, ඊතල, ඊ කොපුව යන උපකරනවලට අමතරව දිගු කාලීන සටන් වළට අවශ්‍ය වන සතුරු හී ප‍්‍රහාරයකින් ගැලවිය හී අඩු, පලස්, සත්ව හමින් කරන ලද ශරිරාවරණ, හී ප‍්‍රහාරයකින් තුවාල ලබන්නන් සුවපත් කළ හැකි බෙහෙත් යනාදීය ශ‍්‍රි ලංකේය දුනුවායා විසින් භාවිත කරන ලදි. හීයේ පසු කොණට හංස, කපුටු හෝ මොණර පිහාටු යෙදු බව කාලිදාසගේ රඝුවංශය සඳහන් කරයි. බුරුමය, සියම, කාම්බෝජය, ශ‍්‍රී විජය අධිරාජ්‍යය වැනි අග්නිදිග ආසියාතික රටවල විෂ පෙවු හී තල පාවිචිචි කළ ද මෙරැටියන් ඒවා භාවිත කළේ නැත. මහනුවර යුගයේ දී ත‍්‍රිවිධ යුරෝපියානු ආක‍්‍රමණිකයන්ගේ වෙඩි බෙහෙත් තොග පුපුරුවා හැරීම සඳහා උඩරට සෙබලු විසින් ඇවිලෙන ගිනි කවන ලද කරුංකා ගෙඩි සවි කරන ඊතල විද්ද බව ජනශ‍්‍රැතියේ සඳහන් වෙයි. උක්ත සාධක වලට අනුව පෙනීයන්නේ ශ‍්‍රි ලාංකේය දුනුවායා අතින් යුද්ධ සේවයේ දී විශිෂ්ට කාර්යය භාරයක් ඉටු කළ බවයි.

ඉහලින් ඇති ඡායාරූපය – ප්‍රසන්න විරක්කොඩිගේ සිතුවමකි.(http://www.prasannaweerakkody.com/#xl_xr_page_gallery%202)

———————————————————————————————————————————-
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.12.25 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
———————————————————————————————————————————-

අවලෝකන ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා ලිපි භාර ගැනීම

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය මඟින් පළ කරනු ලබන අවලෝකන ශාස්ත්‍රීය සඟරාව

2017 සඳහා ඉතිහාසය, පුරාවිද්‍යාව හා තදනුබද්ධ විෂය කේෂ්ත්‍රයන්ට අදාළව ලිපි භාරගනු ලැබේ.

එම ශාස්ත්‍රීය ලිපි සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවලින් පහත නියමයන්ට අනුකූලව සකසා 2017 දෙසැම්බර් 31 දිනට පෙර awalokanavol3@gmail.com ලිපිනයට හෝ අධ්‍යයනාංශයට භාර දිය හැකි ය.

වචන සීමාව : 5,000 (ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය, දත්ත දායක නාමාවලිය, ඡායාරූප නාමාවලිය හා වගු සටහන් ආදිය ඇතුළත්ව)

අක්ෂර වර්ගය : සිංහල FM-Abhaya | English Times New Roman

අකුරුවල ප්‍රමාණය : මාතෘකාවල අක්ෂර 14 ප්‍රමාණය (Bold), අන්තර්ගතය 12 ප්‍රමාණය

පර්යේෂකයාගේ නම, තනතුර, ආයතනය හා විද්‍යුත් ලිපිනය මාතෘකාවට යටින් 10 අක්ෂර ප්‍රමාණයෙන් සඳහන් කළ යුතු ය.

පේළි අතර පරතරය : 1.15 (Line Space 1.15)

කඩදාසිය වටා ඉඩ ප්‍රමාණය (Margin)
වම්පස – අඟල් 1.5
දකුණුපස, ඉහළ හා පහළ – අඟල් 1

ඡායාරූප, වගු, සිතියම් හා සැලසුම් ආදිය ලිපියෙහි අන්තර්ගත නම් ඒවා ලිපියෙහි අදාළ තැන්හි ඇමුණුම් අංක වශයෙන් වරහන් තුළ දක්වා ලිපිය අවසානයට ඇමුණුම් ලෙස ඉදිරිපත් කළ යුතු ය.

ආචාර්ය බී. එච්. එම්. ඩබ්. බෝහිංගමුව
ප්‍රධාන සංස්කාරක/ අවලෝකන ශාස්ත්‍රීය සංග්‍රහය
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය
රුහුණ විශ්වවිද්‍යාලය.

මග්ගානුමග්ග : ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධතිය

පී. විදානපතිරණ

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ.

ඓතිහාසික යුගයේ දී ශී‍්‍ර ලංකාවේ භාවිත වූ මාර්ග පද්ධතිය පිළිබඳ දැනුම ඓතිහාසික මුලාශ‍්‍රයවල ඉදහිට වාර්තාවන තොරතුරු, බි‍්‍රතාන්‍ය පාලන සමය තුළ ගවේශන ආශ‍්‍රිත තොරතුරුවලට සීමා වී පැවතිණ.  මෑත කාලීන ගවෙිශන පදනම් කර ගනමින් ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 13 වන ශත වර්ෂය දක්වා කාලය තුළ භාවිත වූ මාර්ග පද්ධතියේ ව්‍යාප්තිය එහි ගති ලක්ෂණ සහ එම මාර්ග පද්ධතිය යළි ගොඩනැඟීමට මෙහි දී අවධානය කරනු ලැබේ. දේශපාලන ස්ථාවරත්වය හා ප‍්‍රබලත්වය, ආර්ථික වර්ධනය, ආගමික සංස්ථාන්හි බහුලත්වය ආදී සාධක මාර්ග පද්ධතිවල ස්ථාවරත්වය හා ව්‍යාප්තිය සමග බැදී පැවතිණ. දකුණු ආසියාවේ සම කාලීන රාජ්‍යයන්හි පැවති මාර්ග පද්ධතිවල අනුගමනය කරන ලද තාක්ෂණ ක‍්‍රමවේදයන් සහ විධි නියමයන් ශී‍්‍ර ලංකාවේ ජාතික මාර්ග පද්ධතිය තුළින් ද  දක්නට ලැබේ. දිවයිනක් ලෙස පිහිටා තිබීමේ භූගෝලීය ප‍්‍රවේශය සමග අන්තර්ජාතික දිගු මුහුදු වෙළෙඳ මාර්ගවලට තිබි සබඳතාව ද නිසා අගනගරවල සිට ප‍්‍රාදේශීය හා ප‍්‍රත්‍යන්තයන් සම්බන්ධ කළ මාර්ග පද්ධතියට අදාළ යටිතල ව්‍යුහයක් ස්ථාපනය වී පැවතිණ.

ශ‍්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතිය : අධ්‍යයන ක‍්‍රමවේදය

ශී‍්‍ර ලංකාවේ ඓතිහාසික මූලාශ‍්‍රයවල මාර්ග භාවිතය පිළිබඳ වාර්තා වූව ද කාලනුක‍්‍රමික මාර්ග පද්ධතියක් පිළිබඳ ප‍්‍රමාණවත් සාධක ඇතුළත් නොවේ. මෙම සංකීර්ණ ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රවේශයක් එම තොරතුරු අතර අන්තර්ගත වේ. දීර්ඝ කාලීනව භාවිතයේ පැවති මාර්ග පද්ධතියකට අදාළ පැරණි මාර්ග නටබුන්, නටබුන් වූ ගල් හා දැව පාලම්, අම්බලම්, ගව්කනු, මාර්ග සන්ධිස්ථාන සහ තොටමුණු, ජනාවාස, විහාරාරාම සංකීර්ණ, වැව් ව්‍යාප්තිය ආදී වූ භූගෝලීය පිහිටීම  ජාතික හා ප‍්‍රාදේශීය  මට්ටමින් ලබා ගත හැකි පුරාවිද්‍යාත්මක දත්ත සමූහයක් මේ සඳහා භාවිත කළ හැකි ය. මෙම පුරාවිද්‍යාත්මක දත්ත ඓතිහාසික මූලාශ‍්‍රයවල වාරතාගත තොරතුරු සමඟ ගලපා ගැනීමෙන් මාර්ග සඳහා වූ ක‍්‍රියාකාරී මූලධර්ම සහ ජාකිත සහ ප‍්‍රාදේශීය මට්ටමේ මාර්ගවල ගති ලක්ෂණ, ඉදි කිරීම් සහ භාවිතය පිළිබඳ මූලික සැකිල්ලක් ගොඩනඟාගත හැකි වේ. එමගින් ප‍්‍රකාශ වන්නේ සම කාලීන සමාජ සංස්කෘතික ක්‍ෂේත‍්‍රයේ ඇතිවන දියුණුව, දේශපාලන-ආර්ථික ක්‍ෂේත‍්‍රයේ ඇති වූ ප‍්‍රබලත්වය සහ සංවිධානය සහ එහි සීමාවන්ය. මෙහි ව්‍යාප්තිය සහ ස්ථාවරත්වය විවිධ කාල පරාසයන් තුළ වෙනස්වීම්වලට ලක්වන බව ද අවධානය කළ යුතු වේ.

රටක මාර්ග පද්ධතිය සම කාලීන රජය සතු දේශපාලන බලය, ආර්ථික සංවිධානය, සමාජ හා සංස්කෘතිය පිළිබඳව කියාපාන දර්ශකයක් වශයෙන් සැලකිය හැකි ය. ඒ මගින්  සම කාලීන නාගරික, ප‍්‍රාදේශීය සහ ප‍්‍රත්‍යයන්ත සීමාවන්හි අවකාශීය ව්‍යාප්තිය පිළිබඳ ව ද පැහැදිලි සිතියමක් නිර්මාණය වේ. අනුරාධපුර යුගයේ දී නගරයේ සිට දිවයිනේ සිව් දෙසට විහි දී ගිය ප‍්‍රධාන මාර්ග හයක් පිළිබඳව මෙම අධ්‍යනයේ දී අවධානයට ලක් කෙරේ. අශෝක අධිරාජ්‍යයේ රාජකීය මහා මාර්ගය පාටලීපුත‍්‍ර නගරයේ සිට නැගෙනහිර ඩෙකෑන් සීමාවේ පිහිටි පෙෂවෝර්, තක්ෂිලා නගර දක්වා සැතපුම් 3,000ක් (1,000 kos) පමණ දිව ගොස් සේද මාවත දක්වා ද ව්‍යාප්තවීම සම කාලීන රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාප්තියට සමගාමීව සිදුවූවකි. මාර්ග පද්ධතිය, රාජ්‍යයක සංවර්ධනයේ සංකේතයක් යන වර්තමාන සංකල්පය රෝම, චීන, කාම්බෝජයේ අන්්කොර් (Angkor), දකුණු ඇමෙරිකාවේ ඉන්කා (Inka) ආදී ශිෂ්ටාචාරවල මාර්ග පද්ධති සම්බන්ධ අධ්‍යනවල දී ද අවධානය කර ඇත. චීන, රෝම ශිෂ්ටාචාරවල සහ මෞර්ය අධිරාජ්‍යයේ කරන ලද කැනීම්වල දී සනාථ වී ඇති පරිදි පැරණි සහ මධ්‍ය කාලීන යුගයන්හි ලෝකයේ මහා මාර්ග පද්ධති සැළසුම් කිරීමේ දී ආරක්ෂිත උපායන් කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඉංජිනේරුමය මුලධර්ම භාවිතය හා මාර්ගවල භූගෝලීය ව්‍යාප්ති රටාව එම අරමුණ සමග බැදී පැවතිණ.

මෙම අධ්‍යනයේ දී මාර්ග පද්ධතිය ක‍්‍රියාත්මක වූ මුලික මූලධර්ම කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂිත ය. පළමුව, ශ‍්‍රී ලංකාවේ පැවති මාර්ග පද්ධතිය ඉතිහාසයේ හැම කල්හිම භාවිතයේ පැවතියේ ද යන්නත් පසු කාලීන ජාතික හා ප‍්‍රාදේශීය මාර්ග ජාලය වර්ධනය සඳහා එම මාර්ගවල ගමන් මග තෙතෙක්දුරට භාවිත වී ඇත්ද යන්නත් කෙරෙහි අවධානය යොමු වේ. ක‍්‍රිස්තු පූර්ව 4 වන ශත වර්ෂයේ පමණ සිට ශී‍්‍ර ලංකාවේ ක‍්‍රමානුකූල මාර්ග භාවිතය පිළිබඳ සාධක පවතී. එහෙත් නොකඩවාම එම මාර්ග අද දක්වාම භාවිත වී යැයි කිව නොහැකි වූව ද ඓතිහාසික උතුරු නැගෙනහිර හා බටහිර මාර්ගවල බොහෝ කොටස් එ් ආකාරයටම වර්තමාන ජාතික මාර්ග පද්ධතියට සම්බන්ධ කර ගෙන ඇත. ඉංග‍්‍රීසින් වියළි කලාපයේ නව මාර්ග ඉදි කිරීමේ දී පැරණි මාර්ගවල ගමන් මග එලෙස ම අනුගමනය කරන ලද අවස්ථා බොහෝ ය. ඉන්දිය අර්ධද්වීපයේ පැරණි මාර්ග පද්ධති පිළිබඳ අධ්‍යනවල දී ද පහසුවෙන් ඉංග‍්‍රීසීන් විසින් පැරණි මාර්ග මත නව මාර්ග ඉදි කරන ලද බව සඳහන් වේ.

දෙවනුව, මෙම මාර්ග එ් ආකාරයටම ඔවුන්ගේ ඉතිහාසය තුළ සම්පූර්ණයෙන්ම නොකඩවාම භාවිත නොවී ය. ප‍්‍රදේශීය වශයෙන් අනන්‍යතා සහිත මාර්ග භාවිත විය. වෙල්යායේ නියර වැව් බැමි හා ඇලවේලි හැම විටම ගම් අතර මාර්ග පද්ධතියට එක් වී පැවතිණ. වියළි කලාපයේ මාර්ග සම්බන්ධයෙන් ගොඩබිම් මාර්ග හැර ගංගා ඇල ෙදාළ ආදී ජල මාර්ග භාවිතය පිළිබඳ භූගෝලීය ප‍්‍රවේශයක් නොමැත. තෙවනුව මාර්ග වර්ගීකරණය සහ ගංගා හරහා යාමේ දී භාවිත වූ ක‍්‍රමවේදයන්  (road type and crossing type) අගනගරය හා සම්බන්ධ ප‍්‍රත්‍යන්ත අවකාශීය කලාපයන් දක්වා වූ   ප‍්‍රධාන මාර්ගවල මේ සඳහා භාවිත කර ඇති ක‍්‍රමවේද බෙහෝ දුරට සමාන වේ. ආර්ථික සම්බන්ධතාව මත වරායන් හා බැඳුණු මාර්ගවලට අන්තර් ජාතික සාගරික වෙළෙඳ මාර්ග සමග වූ  සම්බන්ධතාව නිසාම නිර්යාත භාණ්ඩ ප‍්‍රවාහන මාර්ග ලෙස මෙම වැදගත්කම හිමි විය. සතර වන මූලධර්මය ලෙස මාර්ග පද්ධති ඉදිකිරීම, පවත්වාගෙන යාම, ක‍්‍රමවේද සහ එ් සඳහා වූ සම්පත් දායකත්වය ඇතැම් මාර්ගවල වූ දේශපාලන ආර්ථික වැදගත්කම නිසාම 13 වන ශත වර්ෂය දක්වාම නොකඩවා රාජකීය අනුග‍්‍රහය යටතේ ඉදිතිරීම් හා නඩත්තු කටයුතු මෙන්ම මාර්ගවල සේවාවන්ද පවත්වා ගෙන යන ලද බවට සාධක පවතී. දිවයිනේ ඓතිහාසික මාර්ග පද්ධතියේ ව්‍යාප්තිය හා වර්ධනය හඳුනා ගැනීමේ දී ඉහත සඳහන් කළ සාධක මගින් තර්කානුකූල පදනමක් සපයා ගත හැකි වේ.

ශී‍්‍ර ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

දිවයිනේ ලොකු කුඩා ගංගාවන් මුහුදට ගලා බස්නා දිශානතිය සහ ඓතිහාසික භූ-දේශපාලන ව්‍යුහයේ සැකැස්ම අනුව අනුරාධපුර සහ පොළොන්නරු අගනගර හා සම්බන්ධ වන බොහෝ මාර්ග ගංගාවන් හරහා යා යුතු විය. ගොඩබිම් මාර්ග ජාලය හා සම්බන්ධතාව යටිතල ව්‍යුහය පිළිබඳ සාධක ලෙස දිවයිනේ ගංගාවන් හරහා දැවයෙන් සහ ගලින් කරන ලද පාලම්වල නටබුන් අදත් ඉතිරි ව පවතී. මේ සමග මාර්ග ජාලය හා සම්බන්ධ කළ හැකි විහාරාරාමවල පිහිටීම, අම්බලම්, කුඩා වැව් සහ ළිං ආදී වූ ප‍්‍රවාහන සම්බන්ධ යටිතල ව්‍යුහයන් සහ 19 වන ශත වර්ෂයේ සිට පුරාවිද්‍යා ගවේශනවල දී වාර්තාගත කර ඇති ගව් කනුවල (පැරණි මාර්ගවල පසෙකින් දුර මිනුම් ඒකකයක් ලෙස ගව්කණු සිටුවා තිබිණ. එ්වා ඉංග‍්‍රීසීන් විසින් මෙරට මහාමාර්ගයන්හි සිටුවන ලද සැතපුම් කණු හා සම වේ.)  භූගෝලීය පිහිටීම ද මෑත දී සොයා ගෙන ඇති ගව්කනු ද දිවයිනේ සිව් දිගට විහි දී ගිය මාර්ග රටාවේ යටිතල ව්‍යුහයන් වේ.

ශ‍්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ දී අගනගරයේ සිට සතර දිගට විහිදී ගිය ප‍්‍රධාන මාර්ග හයකින් යුත් මාර්ග ජාලය කිලෝමීටර් 1,100ක පමණ දුරක් ආවරණය වේ. අගනගරයේ සිට උතුරේ ජම්බුකෝලපට්ටන, දකුණේ මාගම, නැගෙනහිර වෙරළ ගෝකර්ණතිත්ථ හා පල්ලවවංක වරායන්, බටහිර වෙරළ මහාතිත්ථ, මගන හා උරුවෙල වරායන් දක්වා ද වශයෙන් මෙම ප‍්‍රධාන මාර්ග 6 වැටී තිබිණ. ආර්ථික සංවර්ධනය, කාලිනුරූපව සිදුවන ආගමික සංස්ථාවන්හි බහුලතාව සමාජ සංස්කෘතික ෙක්‍ෂත‍්‍රයේ ඇතිවන ප‍්‍රගමනය අගනගරයේ සිට ප‍්‍රාදේශීය හා ප‍්‍රත්ය්‍යන්තයන් දක්වා ප‍්‍රවාහන ජාලයන් ව්‍යාප්තියට බලපානු ලබයි. මෙම වීදිය ඇතුළු නගරය ජාතික මාර්ග ජාලය සමග සම්බන්ධ කළ ප‍්‍රධාන මාර්ගය වේ.

ශ‍්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ දී අගනගරයේ සිට සතර දිගට විහිදී ගිය ප‍්‍රධාන මාර්ග

මෙම ඓතිහාසික තොරතුරු සමග මල්වතු ඔය හරහා ද කුඩා අතු ශාඛා සහ වාරි ඇලවල් හරහා ද, ගලින් හා දැවයෙන් කරන ලද ලොකු කුඩා පාලම් 19ක නටබුන් ද අගනගරයේ මාර්ග ජාලය ප‍්‍රතිනිර්මාණය කිරීමට ප‍්‍රමාණවත් වුව ද වසර 1,500කට අධික කාලයක් පැවති මාර්ග පද්ධතිය කාලීනව සිදු වූ වර්ධනයන් හඳුනා ගැනීමට එම තොරතුරු ප‍්‍රමාණවත් නොවේ. අවම වශයෙන් ක‍්‍රිස්තු වර්ෂ 1 වන ශත වර්ෂයේ සිට වර්ධනය වූ මාර්ග පද්ධතියක් අනුරාධපුර කේන්ද්‍ර කර ගනිමින් පැවති බව අනුමාන කළ හැකි සාධක පවතී. 19 වන ශත වර්ෂයේ දී ඉංගී‍්‍රසීන් විසින් රජරට ගවේශනවල දී ප‍්‍රවේශ මාර්ග ලෙස භාවිත කරන ලද්දේ ද වල්බිහි වී ගිය එම මාර්ග පද්ධතියයි.

ඓතිහාසික තොරතුරු සමග  මාර්ග හා සම්බන්ධ විවිධ වූ මංසලකුනු එනම් ගල් හා දැව පාලම්, අම්බලම්ල, ගව්කනු, වැව් අමුණු හා වාරි ඇල මාර්ග ආදියෙන් සමන්විත යටිතල වයුහය පදනම් කර ගනිමින් ප‍්‍රධාන මාර්ග 6කින් යුත් ජාතික මාර්ග ජාලය ප‍්‍රතිනිර්මාණය කළ හැකි ය. පාලම් සම්බන්ධ කර ගත් නගරය අවට කලාපයේ අධික ඝනත්වයෙන් යුත් මාර්ග ජාලයක් සිතියම් ගත කරනු ලැබ ඇත. මෙම පාලම් 13ක් ම මල්වතු ඔය හරහා වැටී තිබිණි. මේ අතරින් ගැල් ගමන් කළ හැකි වූයේ උතුරු හා නැගෙනහිර ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ ගල් පාලම් හරහා පමණි. ප‍්‍රධාන ගල් පාලම් දෙකට අමතරව ගලින් කරන ලද තවත් පාලම් 4ක නටබුන් සොයා ගෙන ඇත. අවම වශයෙන් අඩි 6-8 දක්වා පමණ පළලින් යුතුයයි අනුමාන කළ හැකි එක්වර මගීන් 4-5කට එක පෙළට ගමන් කළ හැකි මෙම පාලම් විසුද්ධිමග්ගයේ ජම්හසේතු නමින් හඳුන්වා දී ඇත. මල්වතු ඔය හරහා කුඩා ගැල් ගමන් කිරීමේ දී මෙම පාලම් යොදා ගත්තා විය හැකි ය. පාලම් සඳහා භාවිත කරන ලද ගල් කණු සහ ඇතිරීමට යොදා ගත් ගල් ඵලකවල අවශේෂ මල්වතු ඔය ආශ‍්‍රිතව අදත් දක්නට ඇත. මෙම පාලම් ඇතුළු නගරයේ රුවන්වැලි සෑ මාර්ගයට, ශ‍්‍රී මහාබෝධියට සහ ජේතවනාරාමයට සහ රජවීදියට ද සම්බන්ධ වී අධිනාගරීකරණ කලාපයේ සතර ෙදාරටුවලින් විහි දී ගිය මාර්ග ප‍්‍රධාන ගල් පාලම් හරහා ජාතික මාර්ග පද්ධතියට සම්බන්ධ වී පැවතිණ.

ඓතිහාසික අගනගරවල මාර්ග සතර දිශාගත කිරීමත්, ඍජුව විහිදීම හා සමානුපාතවීමත්, සතර මංසන්ධි, තුන්මංසන්ධි ස්ථාන එකිනෙකට සම්බන්ධ වූ හරස් මාර්ග ජාලයකින් යුක්ත වීමත් යන ලක්ෂණ අනුරාධපුර මෙන් ම පොළොන්නරු නගර සැලසුම්වලට අයත් ප‍්‍රධාන අංගයන් විය. නගරයේ වීදි අඩි 15-20 පුළුල් වීම අනුරාධපුර මෙන්ම පෙලොන්නරු නගරයට ද පොදු ලක්ෂණයකි. අනුරාධපුර ඇතුළු නගරය, උතුරු-දකුණු සහ නැගෙනහිර-බටහිර සතර ෙදාරටු හා සම්බන්ධ ප‍්‍රධාන මාර්ග පද්ධතියකින් සහ අධිනාගරීකරණ කලාපයේ සතර දිශාගතව ක‍්‍රමානුකූල ව විහි දී ගිය වීථි ජාලයකින් ද යුක්ත විය. පුරාවිද්‍යා කැනීම් මගින් තහවුරු වී ඇති පරිදි අනුරාධපුර ඇතුළු නගරයේ උතුරු දකුණු දිශාගතව වැටී තිබි රජවීදිය ඇතුළු නගරයෙන් පිටතට දිවෙන දකුණු ෙදාරටුවේ දී අඩි 58ක් පළලින් යුක්ත වේ. මාර්ගය මධ්‍යයේ, අඩි 25ක් දිග අඩි 16ක් පළල මුර කුටියක්යයි අනුමාන කළ හැකි ගොඩනැගිල්ලක අවශේෂ ද හඳුනා ගෙන ඇත.

කෞටිල්‍යගේ අර්ථශ‍්‍රාස්ත‍්‍රයේ රාජකීය මහා මාර්ග සහ නගරද්වාර පළලින් අඩි 48ක් (දන්ඩ 8ක්) විය යුතු යයි සඳහන් වේ. සම කාලීන චීනයේ දක්වා ඇති නියමයන්ට අනුව අගනගරයේ හා ප‍්‍රධාන මහා මාර්ග පළලින් අඩි 50ක් විය යුතු අතර රෝමන් මහා මාර්ගවල දක්වා ඇත්තේ අඩි 25ක් වශයෙනි. චීනයේ Chhang-an අගනගරයේ සතර දිගට විහි දී ගිය මාර්ග සන්ධිස්ථානයේ කරන ලද කැනීමක දී අනාවරණය වී ඇති පරිදි මාර්ගයේ පළල අඩි 19.7ක් විය.

ශ‍්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ මාර්ග ජාලය

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක

ඇතැම් රාජකීය සහ ඓතිහාසික සන්සිද්ධීන් වාර්තා කිරීමේ දී ඓතිහාසික මුලාශ‍්‍රයවල ඉදහිට මාර්ග පිළීබඳ තොරතුරු ඇතුළු වේ. ඇතැම් රාජකීය ප‍්‍රදානයන් ඇතුළු වන සෙල්ලිපිවල ද ප‍්‍රදේශීය ආර්ථික හා හමුදා මෙහෙයුම් සම්බන්ධ ක‍්‍රියාවලීන් හා සමග මාර්ග පිළිබඳ තොරතුරු ද වැඩි වැදගත්කමක් ගනී. මෙම ඓතිහාසික දත්ත සහ පාලම්, පැරණි මාර්ගවල නටබුන් හා ගව්කනු ආදීයේ භූගෝලීය ව්‍යාප්තිය සමග සිතියම්ගත කිරීමෙන් මාර්ග පද්ධතිය ප‍්‍රතිනිර්මාණය කළ හැකි ය. මේ සඳහා ලන්දේසීන් සහ ඉංගී‍්‍රසීන් දිවයිනේ සහ ප‍්‍රදේශීයව නිර්මාණය කරන ලද සිතියම් ද ප‍්‍රමාණවත් දායකත්වයක් ලබා දෙයි. වියළි කලාපයේ පුරාවිද්‍යාත්මක ගවේශනවල දී ඉංගී‍්‍රසීන් විසින් භාවිත කරන ලද වල්බිහි වී ගිය පැරණි මාවත් පිළිබඳ වාර්තා ද වැදගත්කමක් ගනී. මෙම ක‍්‍රියාවලියේදී පැරණි මාවත්වල නටබුන් සිතියම්ගතකර තිබීම විශේෂයෙන් අගනගරවල මාර්ග පද්ධතිය ප‍්‍රතිනිර්මාණය කිරීමේදී ඉහළ අගයක් ගනී.

අනුරාධපුර ඇතුළු නගරයේ සතර ෙදාරටුවලට ජාතික මාර්ග පද්ධතියේ සම්බන්ධතා ව පිළිබඳ සාධක මුල්වරට මහාවංශයේ සඳහන් වන්නේ දේවානම්පියතිස්ස (ක‍්‍රි.පූ. 250-210) රාජ්‍ය සමයේ ශ‍්‍රී මහා බෝධිය රැගත් සංඝමිත්තා තෙරණියන් ඇතුළු පිරිසට ජම්බුකෝලපට්ටන සිට අනුරාධපුරයට පැමිණීම සම්බන්ධ සනසිද්ධියයි. හ‍්‍රී මහාබෝධිය නගරයේ උතුරු ෙදාරටුවෙන් ඇතුළුව රජවීදිය ඔස්සේ මහාමේඝ වනයට රැගෙන එන ලදි. ඓතිහාසික මූලාශ‍්‍රය සාධක අනුව රජවීදිය යන්න ඇතුළු නගරයේ උතුරු දකුණු ෙදාරටුව දක්වා වූ ප‍්‍රධාන වීදිය සඳහා භාවිත විය. 1960 වසරේ සිට වරින්වර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කරනු ලැබූ කැනීම් වලින් නගරයේ උතුරු දකුණු සහ නැගෙනහිර ෙදාරටුවල භූගෝලීය පිහිටීම සනාථ කර ගෙන ඇත.

අනුරාධපුර අගනගරය හා සම්බන්ධ මාර්ග හා එක්වූ මල්වතු ඔයේ තොටුපලවල් කිහිපයක් පිළිබඳව ඓතිහාසික මූලාශ‍්‍රයවල සඳහන් වේ. මෙම තොටුපලවල් හා සම්බන්ධ පාලම්වල නටබුන් හඳුනා ගෙන ඇත. විසුද්ධිමග්ගයට අනුව මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුර සිට සෑගිරියට යාමට මල්වතු ඔයෙන් එතෙර වූ ඓතිහාසික තොටුපොළ මෙය විය හැකි ය. මහාවංශයේ සඳහන් වන පරිදි මහාදාඨික මහානාග (ක‍්‍රි.ව.7-19) රජු සමයේ දී සෑගිරියේ පවත්වන ලද ගිරිඛණ්ඩ පූජාව සඳහා මල්වතු  ඔයේ  සිට සෑගිරිය තෙක් සුදු වැලි අතුරා සකස් කළ මාර්ගයට සම්බන්ධ තොටුපොළ ද, මෙය වේ. සිරිමේඝවන්න (301-328) රජු දවස මිහිඳු ප‍්‍රතිමාව මිහින්තලයේ සිට අනුරාධපුරයට උත්සාවාකාරයෙන් ගෙන එන ලද්දේ ද මෙම මාර්ගය ඔස්සේ විය යුතු ය. මෙම මාර්ගයට උතුරු දිගින් ජේතවනාරාමයේ සිට නැගෙනහිර දෙසට විහි දී ගිය පැරණි වීදියක් 1892 දී සිතියම්ගත කර ඇත. එම වීදියට සම්බන්ධ ගල් පාලම ද අඩි 6ක් පමණ පළලින් යුත් ජම්හසේතු වර්ගයට අයත් වූවකි. මෑත දී කරන ලද කැනීම් මගින් මතු කර ගන්නා ලද දකුණු ප‍්‍රාකාර සීමාවට දකුණු දිගින් නැගෙනහිර-බටහිර දිශාගත ව ගමන් ගත් වීදිය මෙය බව සනාථ වේ. නැගෙනහිර මහා මාර්ගය හා සමස්බන්ධ වූ ප‍්‍රධාන පාලම නිරන්තරයෙන් ම කාර්ය බහුලව පැවති බැවින් මල්වතු ඔය දකුණු ඉවුරේ පිහිටි පාචීනතිස්සපබ්බත විහාරය, මුල්ලෙගම සහ පුලියන්කුලම ආදී විහාර සඳහා ඉහත සඳහන් කළ පාලම භාවිත වූ බව අනුමාන කළ හැකි ය. මල්වතු ඔය හරහා නගරට ඇතුළු වීමේ දී  ප‍්‍රධාන විහාර සඳහා වෙන් වෙන් වූ වීදි හා පාලම් භාවිත විය. නැගෙනහිර මහා මාර්ගයේ සිට පුලියන්කුලම විහාර සමීපයේ වූ මාර්ගයට සම්බන්ධ වූ හරස් මාවතක නටබුන් Horcart විසින් 1930 දී සිතියම් ගත කර ඇත.

විශේෂ උත්සව අවස්ථාවල දී නගරයේ වීදි සැරසීමේ හා වීදි සංචාරය කිරීමේ සම්ප‍්‍රදායයක් තිබූ බවට ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ පමණ සිට වංශකතා තොරතුරු සපයයි. ශ‍්‍රී මහාබෝධි රෝපණ අවස්ථාවේ දී රජවීදිය, සුදු වැලි අතුරා පංච වර්ණ මලින් අලංකාර කරන ලද බවත් මහාවංශයේ සඳහන් වේ. උත්තිය රජ සමයේ දී අපවත් වූ මිහිඳු හිමියන්ගේ දේහය ආදාහනය සඳහා මිහින්තලේ සිට අනුරාධපුර නගරයට ගෙන එන ලදී. රත්රන් දෙණක තබන ලද දේහය විවිධ පුද පූජා පවත්වමින් බොහෝ රටවැසින් එක්රැස් ව මහාවිහාරය වෙත ගෙන එන ලද්දේ කොඩි සහ මලින් සරසන ලද රජ වීදිය ඔස්සේ ය. විවිධ උත්සව අවස්ථාවන්හි දී වීදි සැරසීම මෙන් ම රෝගපීඩා සහ දුර්භික්ෂ අවස්ථාවන්හි දී පිරිත් පැන් ඉසිමින් වීදි සංචාරය කිරීම සම්ප‍්‍රදායයක් වශයෙන් අනුරාධපුර යුගය අවසානය දක්වා ම පැවති බව අනුමාන කළ හැකි ය. ඉහත සඳහන් කරන ලද්දේ අනුරාධපුර නගරයේ වීදි සැරසීම පිළිබඳව සාධක කිහිපයක් පමණි. නොකඩවාම සම්ප‍්‍රදායක් ලෙස පවත්වා ගෙන ගිය බව කල්්‍යාණවතී (ක‍්‍රි.ව.1202-1208) රැජිනගේ රුවන්වැලි සෑ පුවරු ලිපිය අනුව ධජ පතාක කදලී තොරණින් වීථි සරහා යනුවෙන් ද සඳහන් වීමෙන් සනාථ වේ. ඓතිහාසික මූලාශ‍්‍රයවල ඇතැම් කතා වස්තූන්හි අගනගරයේ වූ වීදි පිළිබඳව තොරතුරු ඇතුළත් වේ. ඇතැම් වීදිවල භූගෝලීය පිහිටීම නිශ්චිතව හඳුනාගත නොහැකි වුව ද විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වූ වීදි පැවති බවට සාධක ඇත.

මහාවංශය සඳහන් කරන පරිදි ක‍්‍රිස්තු පූර්ව 5 වන ශත වර්ෂයේ පමණ සිට අනුරාධපුර බටහිර කොටු පවුරෙන් පිටත ප‍්‍රදේශය වෙළෙඳ වීදිය වෙන් කරන ලදී. පණ්ඩුකාභාය රජු බටහිර ආසියාතික රටවලින් පැමිණි වෙළෙඳ ප‍්‍රජාවක් ලෙස පිළි ගැනෙන යෝනක ජන කොටස් මෙහි පදිංචි කරවන ලදී. ඇතුළු නගරයේ කරන ලද පුරාවිද්‍යා කැනීම් අනුව ක‍්‍රිස්තු පූර්ව 5 වන ශත වර්ෂයට පෙර සිට විදේශිය වෙළෙඳුන් අනුරාධපුර නගරය සමග සබඳතා පැවති බව සනාථ වේ. උපතිස්ස රජුගේ (ක‍්‍රි.ව. 368-410) බසවක්කුලම පර්වත ලිපියට අනුව බටහිර ෙදාරටුව ආසන්න ප‍්‍රදේශය වෙළෙඳ මධ්‍යස්ථානයක් ව පැවතිණ. ගවේෂණ මගින් හඳුනා ගැනුණ පුරාවිද්‍යාත්මක සාධක සහ ඓතිහාසික සාධක ගළපා ගනිමින් නිර්මාණය කරන ලද අනුරාධපුර නගරයේ මාර්ග සිතියමින් දිවයිනේ සිව් දෙසට සම්බන්ධ වූ ප‍්‍රධාන මාර්ග ජාලය සහ අගනගරයේ සියලුම වීදි බටහිර ෙදාරටුවට පිටතින් විහි දී ගිය වෙළෙඳ වීදියට සම්බන්ධව පැවතින.

මහකනදරා ගල්පාලම සකසා අැති අාකාරය

කෞටිල්‍යගේ අර්ථශාස්ත‍්‍රයේ දක්වා ඇති පරිදි භාවිතය අනුව එකිනෙට වෙනස් වූ පළලින් යුත් මාර්ග ඉදි කිරීමේ විධි නියමයන් අනුරාධපුර අගනගරය තුළ ද පැවති බව එකිනෙකට වෙනස් වූ පළලින් යුත් ගල් පාලම් සමූහය ප‍්‍රබල පුරාවිද්‍යාත්මක සාධකයන් වේ. මෞර්ය අධිරාජ්‍යයේ හා චීන ශිෂ්ටාචාරයේ මාර්ග පද්ධතිවල අනාවරණය කර ගෙන ඇති පුරාවිද්‍යාත්මක සාධක මගින්ද ඒ බව සනාථ වේ. රාජකීය මාර්ගය සෙසු අවශ්‍යතාවන් සඳහා භාවිත නොවීය. මේ නිසාම අනුරාධපුර නගරයට පිවිසිය හැකි ප‍්‍රධාන ගල් පාලම්වලට අමතරව ඇතැම් විට කුඩා ගැල් භාවිත කළ හැකි අඩි 6-8 දක්වා පමණ පළලින් යුත් ගල් පාලම් 7ක් ද එම පළල හා සම වූ දැවයෙන් කළ පාලමක් (සාලියපුර ආසන්නයේ මල්වතු ඔය හරහා වූ) සහ එ්දණ්ඩක් යොදාගත් අඩිපාරක් ද අනුරාධපුර අධි නගාගරීකරණ කලාපයට සම්බන්ධ මාර්ග ජාලයට අයත් ව පැවතිණ. සම කාලීන මාර්ග සම්බන්ධයෙන් භාවිතයේ පැවති නීති හා සම්ප‍්‍රදායන් අනුව අගනගර හා අවට කලාපය සඳහා මාර්ගවල පළල හා භාවිතයේ විශේෂ බව අනුව මෙම සංකීර්ණ මාර්ග දැල් රටාව නගර සැළැස්මේ අංගයක් ලෙස හඳුනා ගැනීම නිරවද්‍ය වේ.

ප‍්‍රධාන මාර්ග පද්ධතියට සම්බන්ධවන නැගෙනහිර මහා මාර්ගයේ නටබුන් ඇතුළු නගරය තුළ මෙතෙක් හමු වී නැතත් නැගෙනහිර දොරටුව හා එතැන් සිට මල්වතු ඔය දක්වාත්, මල්වතු ඔය දකුණු හා වම් ඉවුරුවල දක්නට ලැබෙන ගල් පාලමේ නටබුන් ද මාර්ගයේ ගමන් මග සලකුනු කරයි. ගඟ හරහා පාලමේ නටබුන් කිසිවක් ඉතිරි වී නැතත් විශේෂයෙන් දකුණු ඉවුරේ රේඛීයව එක් පෙළකට තුන බැගින් විහි දී යන ගල් කණු සමූහයක් වේ. පෙළොව මට්ටමේ සිට අඩි 3.5ක් පමණ උසින් යුත් මෙම ගල් කණු අතර පාලමේ අතුරා තිබී බිම ඇද වැටුණු ගල් ඵලක ද දක්නට ඇත. පාලම පොළොව මට්ටමේ සිට අඩි 5ක් පමණ උස් ව පිහිටුවා තිබිණ. ගල් පුවරු රැඳවීම සදහා ගල් කණුවල මුදුන කුඩුම්බි සහිතව නිර්මාණය කර තිබු බවට සාධක හමු වේ. පාලම අඩි 12-14ක් පමණ පළලින් යුක්ත විය. දිවයිනේ නැගෙනහිර දෙසින්, රෝහණයෙන් හා දකුණු දිගින් අනුරාධපුරට පැමිණෙන ගැල් නගරයට ප‍්‍රවේශ වූයේ ඉහත සඳහන් කළ ගල් පාලම හරහා ය.

මහකණදරාව ගල් පාලම

මහාතිත්ථ වරාය වෙත සහ නගරයේ වෙළෙඳ වීදි කරා භාණ්ඩ ප‍්‍රවාහනය කළ ගැල් සඳහා වූ මාර්ග ජාලය සැළසුම් කිරීමේ දී ඇතුළු නගරයේ ආරක්ෂිත ක‍්‍රමෝපායන් පිළිබඳ අවධානය යොමු කර ඇත. ගැල් මාර්ගය ඇතුළු නගරයේ නැගෙනහිර ෙදාරටුවට ඍජුව ම සම්බන්ධ වුව ද වෙළෙඳ බඩු ප‍්‍රවාහනය කළ ගැල්වලට නැගෙනහිර කොටු පවුරට සමගාමී ව ඊට පිටතින් උතුරු-දකුණු දිශාගතව විහි දී ගිය මාර්ගය භාවිත කළ හැකි පරිදි මාර්ග පද්ධතිය සැලසුම් කර තිබිණ. එම ගැල්වලට නගරයේ වෙළෙඳ වීදියට යාමේ කෙටි ම මාර්ගය වූයේ ගල් පාලමින් නගර සීමාවට ඇතුළු වී උතුරු දෙසට විහිදුණු මාර්ගය ඔස්සේ මහාතිත්ථ මාර්ගයට අවතීර්ණ වීම ය. නගරයේ ප‍්‍රධාන වෙළෙඳ මාර්ගය පිහිටියේ බටහිර කොටු පවුරට සමගාමී ව උතුරු-දකුණු දිශාගත ව කොටු පවුරට පිටතින් ය. ඉහත මාර්ගයෙන් නගරයට ඇතුළු වන ගැල්වලට උතුරින් මෙන් ම දකුණින් ද, නගරයේ බටහිර කොටු පවුරට පිටතින් වු වෙළෙඳ වීදිය වෙත ගමන් කළ හැකි විය.

ප‍්‍රසිද්ධ ස්ථාන හා ගමනාන්තයන් පිළිබඳ සාධක

ආගමික ස්ථාන හා වන්දනාමාන සඳහා ද යුධ කටයුතු වරාය සම්බන්ධතා ආදී සාධක අනුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශ ආවරණය වන මාර්ග පද්ධතියක් ක‍්‍රිස්තු වර්ෂ 4 වන ශත වර්ෂයේ පමණ සිට භූදර්ශනය මත ගොඩනැගී තිබි බවට සාධක ඇත. පණ්ඩුකාභය සමයේ සිට වාර්තා වන විවිධ ඓතිහාසික සිද්ධින් අනුරාධපුර සිට ප‍්‍රත්‍යයන්තයන් කරා පැවති ගොඩබිම් මාර්ග පිළිබඳ වාර්තා වේ. දේවානම්පියතිස්ස සමයයේ දී මෙරට ස්ථාපනය වන බුද්ධාගම කෙටි කලක් ඇතුළත දිවයින පුරා ව්‍යාප්ත වීම සංවිධානගත සන්නිවේදන ක‍්‍රමවේදයන් ප‍්‍රදේශීය හා ප‍්‍රත්‍යන්ත සීමා මායිම් දක්වා ව්‍යාප්තව පැවතීම සාධකයන්ය. උතුරු වෙරළ ජම්ඹුකෝලපට්පන දක්වා ද දකුණු වෙරළේ මාගම හා ගොඩවාය නැගෙනහිර හා බටහිර දිග වෙරළ තීරයේ වූ වරායවලට දක්වා වූ ගමනාන්තයන් ද, ශී‍්‍රපාද ස්ථානය දක්වා කඳු මස්තකයන් දක්වා වන්දනාමාන සඳහා වූ මාර්ග භාවිත වීම රජාකීය අනුග‍්‍රහය යටතේ එම මාර්ග සංවර්ධනයවීමත් පිළිබඳ වංශකතා සහ ඇතැම් සෙල්ලිපි සාධක ද වේ.

අනුරාධපුර නගරය සිට උතුරු මහා මාර්ගයේ ගමනාන්තය වූයේ උතුරු වෙරළේ පිහිටි ජම්බුකොලපට්ටනයයි. මෙම මාර්ග සබඳතාව ඌරාතොට වරායන් ද තදාසන්න සෙසු දූපත් සමග සම්බන්ධ විය. උතුරේ වරාය සමග නිරන්තර සබඳතා පවත්වන ලද බවත් පරිපාලන අවකාශීය සීමාවන් කරා මාර්ග ව්‍යාප්තව පැවති බවත් නිරන්තරයෙන්ම මෙම මාර්ග භාවිතයේ පැවතින. ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ  ශී‍්‍ර මහා බෝධිය මෙරටට වැඩම වීම සන්සිද්ධිය එ් වන විට දිවයිනේ උතුරු සීමාවේ දඹකොළපටුන සිට අනුරාධපුරයට වූ මාර්ග සබඳතාව සහ රෝහණයේ කජරගාම, චන්දනගාමයට ද අනුරාධපුර රාජකීයත්වය සමග වූ සබඳතාවේ සන්නිවේදනය මහාවංශය වාර්තා කරයි. බුද්ධඝෝෂ හිමියන්ගේ සම්මෝහවිනෝදනී අට්ඨකතාවට අනුව ක‍්‍රිස්තු පූර්ව 1 වන ශත වර්ෂයේ සිදු වී යැයි විශ්වාස කරනු ලබන දුර්භික්ෂ අවස්ථාවල දී ඉන්දියාවේ විහාරාරාම කරා යාමට භික්ෂූන් වහන්සේලා නැව් නැංගේ ජම්බුකෝල පට්ටනයෙනි. එ් සඳහා ජම්බුකෝලපට්ටනයේ නැව් සාදන ලද බවත් එහි සඳහන් වේ. රාජාවලිය සඳහන් පරිදි පළමු වන ගජබා (ක‍්‍රි. ව. 114-136) රජු  සමයේ සොලීරට ආක‍්‍රමණය කිරීම සඳහා මෙම මාර්ගය ඔස්සේ යාපා පටුනට ගිය බව අනුමාන කෙරේ. ධාතුවංශයට අනුව කිත්සිරිමෙවන් (ක‍්‍රි.ව.551-569) රජ දඹකොළපටුනෙන් දිවයිනට ගොඩබැස අනුරාධපුරයට දළදාව රැගෙන ආවේ ද මෙම මාර්ගය ඔස්සේ ය. ඌරාතොට (කයිට්ස්) වරායේ කාර්යභාරයේ දී ප‍්‍රධාන ගොඩබිම් මාර්ගය සමග එම වරායේ සබඳතාව කෙරෙහි ද මාර්ග අවධානය යොමු කළ යුතු වේ. රජුගේ පරිපාලන අවකාශීය කලාපය තුළ මාර්ග ඉදි කිරීම හා නඩත්තු කිරීම් හා උතුරු සීමාව දක්වා ව්‍යාප්තව පැවතිණ. 1 වන පරාක‍්‍රමබාහුගේ නාගදීප දෙමළ සෙල්ලිපිය අනුව ඌරාතොට, ඉන්දියානු වෙළෙඳුන්ගේ නැව් ගොඩ බසින ලද ප‍්‍රධාන තොටුපලක් වූ බවත් අශ්වයින් සහ ඇතුන් ගෙන එන නැව්වලට රජු  විශේෂ සැලකිලි දැක් වූ බවත් සඳහන් වේ. එමෙන්ම දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කිරීම සඳහා පරාක‍්‍රමබාහු රජු උරාතොට වරායේ නැව් තනවන ලද බවත්, වෙරළ නැව් කර්මාන්ත ශාලාවක් සේ දිස් වු බවත්, මහාවංශයේ සඳහන් කර ඇත.

අනුරාධපුර යුගයේ දී දිවයිනේ අන්තර්ජාතික වෙළෙඳ වරාය සහ එම වෙළෙදාමට සම්බන්ධ උප වරායන් පිහිටි බටහිර වෙරළ කලාපයට විවෘත වූ මාර්ග ජාලයක් විය. මේ නිසාම බටහිර වෙරළට මුහුණ ලා නගරයේ ප‍්‍රධාන වෙළෙඳ වීථිය බටහිර කොටු පව්රට පිටතින් උතුරු දකුණු දිශාගතව පිහිටා තිබිණ. මහාතිත්ථ ප‍්‍රධාන වෙළෙඳ මාර්ගය හා සම්බන්ධ මාර්ග සැලස්ම ඇතුළු නගරයෙන් උතුරු හා දකුණු ප‍්‍රදේශයේ දී දිවයිනේ සිව් දෙසින් එන ප‍්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවලට සම්බන්ධ වන පරිදි නිර්මාණය කරන ලද්දකි. සම කාලීන අර්ථිකයේ භාණ්ඩ ප‍්‍රවාහනයත්, අපනයනයත් හා සම්බන්ධ රාජ්‍ය ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමටත්, නගරයේ වූ රේගු කාර්යාලවල කාර්යභාරය මනාව පවත්වා ගෙන යාමටත් මාර්ග ජාලයේ ක‍්‍රමවත් භාවය බෙහෙවින් ම උපකාරී විය. ක‍්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ෂයේ අවසාන භාගයේ සහ දෙවන ශත වර්ෂයේ දී ඇතිවන දේශපාලන අස්ථාවරත්වයත් සමග දිවයිනට ගොඩ බසින ලද විදේශීය සේනාවන් මහාතිත්ථ (මාන්තායි) සිට අනුරාධපුරය බලා සේනා සංවිධානය ද වරායන් හා සමග සම්බන්ධ මාර්ග පිළිබඳ සාධකයෝ ය.

වෙළෙඳ වීථියට සම්බන්ධව මහාතිත්ථයට මගන හා උරුවෙල වරායනට ප‍්‍රධාන මාර්ග තුනක් විය. මහාතිත්ථ වරායට වූ ප‍්‍රධාන මාර්ගයට ප‍්‍රවේශ විය හැකි දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් අපනයන භාණ්ඩ අනුරාධපුර බටහිර වෙළෙඳ මාර්ගයට එක්රැස් කර ගැනීමට හැකි වන පරිදි සමස්ත නාගරික මාර්ග ජාලයම එකිනෙකට සම්බන්ධ වී පැවතීම නිසා මෙම වීදිය දෙ පස වෙළෙඳ සල්පිල් සහ ආනයන හා අපනයන වෙළෙඳ භාණ්ඩ සඳහා ගබඩා පහසුකම් සපයා තිබුණා විය හැකි ය. ප‍්‍රත්‍යයන්ත හා නගරාසන්න ප‍්‍රදේශවලින් ප‍්‍රධාන මාර්ග ඔස්සේ නගරයට පැමිණෙන වෙළෙඳ භාණ්ඩ රැගත් ගැල් වරාය කරා ප‍්‍රවාහනයේ දී එකිනෙකට සම්බන්ධ වූ මෙම මාර්ග ජාලය රේගු පරිපාලනයකට යටත් කර තිබුණා පමණක් නොව මාර්ග අතර අන්තර් සබඳතා ව ද නිර්මාණය වී තිබිණි.

මහාතිත්ථ වෙළෙද මාර්ගය නගර සීමා ප‍්‍රදේශයේ දී උස් කර තනා තිබිණ. වාරි ඇලවල් හා නගරයේ බටහිර දෙස සිට මල්වතු ඔයට ගලා එන කුඩා ඇල මාර්ග හරහා ගලින් කරන ලද පාලම්වලින් ද යුක්ත විය. පෙරිමියන්කුලම සහ පලුගස්වැව ප‍්‍රදේශයේ වූ ගල් පාලම් 1891 සහ 1893 ගවේෂණ තොරතුරු පදනම් කර ගනිමින් සිතියම් ගත කර ඇත. 1891 දී කරන ලද මෙම ගවේෂණයේ දී මාර්ගය දෙපස ඍජුකෝණාඝ‍්‍රාකාර ගොඩනැඟිලි පාදම්වල නටබුන් හමු වී ඇත. මෙම ගොඩනැඟිලි බොහෝවිට සල්පිල් හෝ අපනයනය සඳහා වූ වෙළෙඳ භාණ්ඩ ගබඩා කෙරෙණු ගොඩනැඟිලි ලෙස අනුමාන කෙරේ. නැගෙනහිර වෙරළ ප‍්‍රධාන වරාව වූ ගෝකර්ණ තිත්ථයට වූ වෙළෙඳ මාර්ගයේ ද, මේ හා සමාන ලක්ෂණ දක්නට ඇත. පිටත නගරයේ ද උතුරු කොටු පවුරට උතුරින් විහි දී යන මාර්ගය දෙපස ඇති ඍජුකෝණාඝ‍්‍රාකාර ගොඩනැඟිලි පාදම් එවක පැවති සල්පිල් ලෙස හඳුනා ගෙන ඇත. එම මාර්ගය පොළොන්නරුව අගනගරයේ ප‍්‍රධාන වෙළෙඳ වීදිය වේ. මාර්ගය ගෝකර්ණතිත්ථ (ත‍්‍රිකුණාමලය) හා එයට දකුණින් වූ ලංකාපටුන වරායන් හා උපවරායන් කරා යා යුතු වූයේ පොළොන්නරුව නගරයේ සිට උතුරු දිගට ව්‍යාප්ත වූ මෙම මාර්ගය ඔස්සේය. කාවන්තිස්ස රජු සමයේ සිට මාගම සිට රජරටට වූ මාර්ග සබඳතාව මහාවංශය අවස්ථා කිහිපයකම වාර්තා වේ. දුටුගැමුණු රජුගේ හමුදා රෝහණයේ මාගම සිට අනුරාධපුරය දක්වා ගමන් කළ මාර්ගය ලෙස මහාවංශය එන ස්ථානනාම දැනට අනාවරණය කර ගෙන ඇති රෝහණ මහා මාර්ගයේ ස්ථානනාම සමග ගැලපේ. බොහෝ  ස්ථානවල නිශ්ශංකමල්ල රජු විසින් ස්ථාපනය කරන ලද ගව් කනු හමු වී තිබීම නොකඩවාම මෙම මාර්ග භාවිතයේ පැවතීම පිළිබඳ සාධකයන් වේ. වංශකතා තොරතුරු ද අනුව රජරට රාජකීයයන් නිරන්තරයෙන්ම මහියංගන විහාරස්ථානය වන්දනා කිරීම සඳහා මෙම මාර්ගය භාවිත කළහ. මහාවංශයට අනුව මහියංගන චෛත්‍ය දේවානම්පියතිස්ස රාජුගේ සහෝදරයකු විසින් ඉදි කරනු ලබන අතර එතැන් සිට 6 වන පරාක‍්‍රමබාහු දක්වා රජවරුන් විසින් වරින් වර ප‍්‍රතිසංස්කරණයන් වැඩි දියුණු කිරීම් කරන ලදී. 4 වන කාශ්‍යප රජුගේ හෝපිටිගමුව ලිපිය අනුව ද මහියංගනය මෙම මාර්ගයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් වේ. මෙම මාර්ග සබදතාව මාගම පමණක් නොව ගොඩවාය තොටමුණ දක්වා දිවයිනේ දකුණු වෙරළ දක්වා ව්‍යාප්තව පැවතිණ. මෙම මාර්ග සිතුල්පව්ව වැනි ප‍්‍රාදේශීය ප‍්‍රධාන විහාරස්ථාන සමග ද සම්බන්ධ විය.

මාර්ග හා සම්බන්ධ යටිතල ව්‍යුහය පිළිබඳ සාධක

ජල මාර්ග හරහා යාමේ දී භාවිත කළ ක‍්‍රමවේදයන් රාජ්‍යයේ ප‍්‍රවාහන මාර්ග පද්ධතිය ව්‍යාප්තිය සහ දිශානතීන් හඳුනා ගැනීමේ දී වැදගත් වේ. ගංගාවන් හරහා ඉදි කර තිබි විශාල පරිමානයේ ගල් පාලම් ස්ථාවර මාර්ග පවත්වා ගෙනයාමේ ප‍්‍රධාන පුරාවිද්‍යාත්මක සාධකයකි. කුඩා දියපාරවල් හා ඇතැම් තැනක භූ දර්ශන ප‍්‍රවේශයන් උපයෝගී කර ගනිමින් ගංගා හරහා පිහිටි ගල් තලාවල ඉදි කළ මහා පරිමාන දැව පාලම් සහ ඇල මාර්ගවල දැවයෙන් කළ පාලම් ද කාලනුරූපව මාර්ගවල ව්‍යාප්තියට අදාළ වේ. ඇතැම් මාර්ග වෙන් වෙන්ව වර්ධනයවීම ද කාලීන ආර්ථිකයේ ජල පහසුකම් ස්ථාවරවීම හා ව්‍යාප්තියට සමගාමීව චංචලවීම සිදුවිය. ඓතිහාසික මාර්ග රටාව තුළ ගල් හා දැව පාලම්, අම්බලම්, ගව් කනු, මාර්ග දිගේ පිහිටි විහාරාරාම සහ වැව් ව්‍යප්තිය තවදුරටත් ඉතිරිව පවතින පුරාවිද්‍යාත්මක සාධකයන් වේ.

දිවයිනේ බොහෝ ප‍්‍රධාන මාර්ගවල මෙන් අධිනාගරීකරණ කලාපයේ ප‍්‍රධාන මාර්ගයන්හි ද ගව්කණුු  සිටුවා අම්බලම් පිහිටුවා තිබිණ. මෞර්ය යුගයේ සිට භාවිතයට ගැනුණ පාටලීපුත‍්‍ර සිට පෙෂවෝර් දක්වා දිව යන මහා මාර්ගයේ (Grand trunk road) මගීන්ගේ පහසුව සඳහා සෑම සැතපුම් 2.5 (හෝ සැතපුම් 3 කට අඩු දුර ප‍්‍රමාණයකට) කටම ගල් කණුවක් බැගින් පිහිටුවා තිබූ බව සඳහන් වේ. මෙම ගල් කණු වර්තමාන සැතපුම් කණු (kos miner) හා සම වේ. මෙම ක‍්‍රමවේදය ශී‍්‍ර ලංකාවේ භාවිත වූ බවට පුරාවිද්‍යාත්මක සාධක ප‍්‍රධාන මාර්ග කිහිපයකින් වාර්තා වී ඇත. මහාතිත්ථ වෙළෙඳ මාර්ගයේ අභයගිරියට උතුරින් මාර්ගයේ පසෙකින් සිටුවා තිබු හුදෙකලා ගල් කණුුව, විජයාරාම විහාර සකීර්ණය ආසන්නයේ ද, ගව් කණුවක නටබුන් හමු වී ඇති ගව් කණුුවක් ලෙස බෙල් හඳුනා ගෙන ඇත. අනුරාධපුර නගර සීමාවේ, ප‍්‍රධාන මාර්ගවල ස්ථාන කිහිපයකින් ලැබී ඇති ගව් කණු සහ රෝහණ මහා මාර්ගයේ පොළොන්නරු යුගයේ පිහිටු වන ලද ගව් කණු ද දිවයිනේ ප‍්‍රධාන මාර්ගයන්හි පසෙකින් ගව් කණු සිටුවා තිබීම ක‍්‍රමවේදය නොකඩවා පැවති බව හෙළි කරන සාධකයන් වේ. නිශ්ශංකමල්ල රජුගේ හැට දා ගේ වාහල්කඩ ලිපියේ එන ටැම් හිදුවා අකුරු කොටවා නිශ්ශංක ගව් යයි නම් කොටැ යන පාඨයත් ගවේෂණ මගින් සොයා ගෙන ඇති රජුට අයත් රෝහණ මාර්ගයේ හා නැගෙනහිර මාර්ගයේ ගව්කණු සමුහයත් එ් බව තවදුරටත් තහවුරු කරයිි. බටහිර වෙරළේ මහාටිත්ථයට දකුණු දිගින් පිහිටි මනග උපවරායට වූ මාර්ගයේ ගව් කනු කිහිපයක් මහවිලච්චිය වැව ආසන්නයේද සැතපුම් 8ක පමණ දිගින් යුත් පැරණි මාර්ග නටබුන් වර්තමාන අරිප්පු මාර්ගයට යටව ඇත.

උතුරු මාර්යේ අභයගිරි මුරගේ (ආරක්ෂක කුටිය) ලෙස හඳුනා ගෙන ඇති ගොඩනැගිලි නටබුන්වලට යාබඳ ව ඍජුකෝණාඝ‍්‍රාකාර ගොඩනැගිලි පාදම මත දැවයෙන් කර තිබු අම්බලමක් පිළිබඳ ව සාධක වාර්තා වේ. 1893 දී අභයගිරි විහාර භූමියෙන් සොයා ගන්නා ලද, මහසෙන් රජු (ක‍්‍රි.ව. 274-301) සමයට අයත් කිරිගරුඬ ඵලක ලිපියේ සඳහන් ‘මහාවත චතුස්ශාලා’ යන්න අර්ථ දැක්වෙන්නේ මහා මාර්ගයේ පසෙක ගොඩනඟන ලද සතර දොරටුවලින් විවෘත වූ ශාලාවක් හෝ අම්බලමක් ලෙස ය. මෙයට ආසන්නයේ පලුගස්වැව ප‍්‍රදේශයේ ද, ගල් තලාවක් මත දක්නට ලැබුණු දිගින් අඩි 30ක් හා පළලින් අඩි 22ක් පමණ වූ පාදම අම්බලමක නටබුන් බව බෙල් වාර්තා කර ඇත. මෙම අම්බලම තුළ, පොළොව මට්ටමේ සිට අඩි 4ක උසින් යුත් ගල් කණුව, මගීන්ගේ ජල පහසුව සඳහා වූ පින්තාලිය හෝ පැන්තාලිය තැබීමට භාවිත කළා විය හැකි ය. නගාරාශ‍්‍රීත කලාපයේ අම්බලම් ගොඩනඟා තිබුණේ මාර්ග සන්ධි ස්ථානයන්හි ය. මහාතිත්ථ වෙළෙඳ මාර්ගයට ද, ජම්බුකෝලපට්ටන දක්වා දිවෙන උතුරු මහා මාර්ගයේ දතුනමංහන්දි දෙකක පිහිටා තිබුණු අම්බලම්වල පාදම් බෙල් වාර්තා කර ඇත. නගරයට උතුරු දිගින් විජයාරාමයත්, උතුරින් පිහිටි කිරිබත්වෙහෙරත්, නැගෙනහිරින් අසෝකාරාමය සහ පංකුලියත් යන විහාරාරාම හා සම්බන්ධ මාවත් උතුර මහා මාර්ගයට සම්බන්ධ වන සතර මංසන්ධියේ තවත් අම්බලමක් පිහිටා තිබිණ. රසවාහිනී කථාවස්තුවක මෙම ප‍්‍රදේශයේ වූ සතර මංසන්ධියක් පිළිබඳ ව සඳහන් වේ. දිවයිනේ නැගෙනහිර සහ ඊසාන දෙසින්, දුර බැහැර සිට එන ගම්වාසීනට මෙම අම්බලම් වැදගත් වුවා මෙන්ම ඉහත කී විහාරාරාමවලට යාමට කෙටි මාර්ග ලෙස මල්වතු ඔය කුඩා ගල් පාලම්වලින් සම්බන්ධ වන අඩිපාර හා අතුරු මාර්ග භාවිත කළ හැකි විය.

නගර සීමාව තුළ පිහිටි අම්බලමක් හා ගව්කණු පිළිබඳ සාධක දකුණු මහා මාර්ගයේ තිසාවැව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. නිශ්චිත වශයෙන් ම දෙවන පරාක‍්‍රමබාහු (ක‍්‍රි.ව. 1236-1270) රජ සමයේ රචනා කරන ලදැයි පිළිගැනෙන හත්ථවනගල්ල විහාරවංශය සහ සම කාලීන ජාතක අටුවා ගැටපදය ද, සඳහන් කරන පරිදි තිසාවැව ආසන්නයේ දැව පාලමක් සහ ඒ ආසන්නයේ අම්බලමක් ද පිහිටා තිබිණ. දකුණු මහා මාර්ගයට සම්බන්ධ මෙම දැව පාලම තිසාවැව ආසන්නයේ ජය ගඟ හරහා හෝ ඇතැම් විට මල්වතු ඔයට ගලා බස්නා ඇල මාර්ගයක් හරහා ගල් කණු යොදා ගනිමින් දැව අතුරා නිමකර තිබු බව ජාතක අටුවා ගැටපදය මෙම පාලම ‘පුවරහෙය’ යනුවෙන් හඳුන්වා දී තිබීමෙන් අනුමාන කළ හැකි ය. අනුරාධපුර නගරයේ සිට දක්ඛිණ දේශයට හා උරුවෙල පටුන්ගම වෙත ගමන් කළ ප‍්‍රධාන මාර්ග මෙම පාලම හරහා වැටී තිබිණ. දකුණු මාර්ගයේ දෙවන අම්බලම දකුණු නගර සීමාවෙන් ඔබ්බෙහි වූ නටබුන් ආසන්නයේ් පිහිටා තිබිණ.

නිශ්ශංකමල්ල (ක‍්‍රි.ව.1187-1196) රජුගේ හැට දා ගෙය වාහල්කඩ ලිපියෙහි තුන් රජය නියත පරිද්දෙන් බලාවූද නියත කොටැ ටැම් හිඳුවා අකුරු කොටවා නිශ්ශංක ගව් යයි නම් කොටැ යනුවෙන් රජු විසින්ම දැක බලා ස්ථිර කර තුන් රජයේ ම මාර්ගවල ගව් කණු සිටුවන ලද බව සඳහන් වේ. එම රජුගේ ගල්පොත ලිපියට අනුව තුන් රජයේ මාර්ග කඳුකර, වනාන්තර, ඇලෙදාළ ගංගා හා වගුරු බිම් නිසා ගමන් කිරීමට දුෂ්කර මාවත් බව ද සඳහන් කර ඇත. අම්බලම් හා පාලම් තැනීම පිළිබඳ තොරතුරු රාජකීය අනුග‍්‍රහය යටතේ ම සිදු වු බවට සාධක 2 වන පරාක‍්‍රමබාහු (ක‍්‍රි.ව.1236-1270) රජ සමයේ වාර්තා වී තිබේ. රජු විසින් දිවයිනේ බොහෝ තැන්හි අම්බලම් කරවා පාලම් තනවා, මහවනය කපා මහා මාර්ග කරවූ බව මහාවංශයේ සඳහන් වේ. රජුගේ දේවපතිරාජ නම් සෙනෙවියා විසින් ශ‍්‍රී පාද මාර්ගයේ කණමැදිරි ඔය, උලපනේ, අඹගමුව, යන ස්ථානවල ශක්තිමත් දැව පාලම් ඉදි කරන ලද අතර එ්වාට පියසි ආවරණ ද යොදා තිබිණ.

වියළි කලාපය හරහා ගලා බස්නා ගංගාවන්  හරහා ඓතිහාසික යුගයට අයත් ගල් පාලම් 22ක් භූගෝලීය පිහිටීම ගවේශන මගින් සොයා ගෙන ඇත. උතුරු මහා මාර්ගයේ හාල්පාන් ඇල, මල්වතු ඔය, කනදරා ඔය, මල්වතු ඔය අතු ශාඛාව තුලාවැලිය, කල්ආර, පාවක්කුලම් හා උලුක්කුලම් යන ගල් පාලම් උතුරු මහා මාර්ගයයේ යටිතල ව්‍යුහයට සම්බන්ධ විය. නැගෙනහිර ප‍්‍රධාන මාර්ගයේ අනුරාධපුර නැගෙනහිර ෙදාරටුවට සම්බන්ධ මල්වතු ඔය ගල් පාලම මහකනදරා ඔය සහ හුණුකනදරාව හරහා වූ පාලම්ද යාන් ඔයේ කොන්ගොල්ලෑව හා පරංගියාවාඩිය පාලම් ද ගෝකර්ණතිත්ථ දක්වා මාර්ගය සළකුනු කරයි. නැගෙනහිර වෙරළේ ගෝකර්ණ වරායට උතුරු දිගින් වූ පල්ලවවංක සහ මෙතෙක් හඳුනා නොගත් වරායන් ලෙස කි‍්‍රයාකාරීව පැවති වරායනට සම්බන්ධ පාලම් තුනක් යාන් ඔය හරහා වැටී ඇත. කි‍්‍ර ව 7 වන ශත වර්ෂයේ පමණ සිට ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ අධිකාරියේ ඇතිවූ වෙනස්වීම සහ අගනගරය අනුරාධපුරයෙන් පොළොන්නරුවට මාරුවීමත් නැගෙනහිර වෙරළ කලාපයේ වරායවල වැඩි වැදගත්කමක් ගැනීමට හේතු වූවා විය හැකිය.

නගරට ඊසාන දෙසින්  සන්ගිලිකනදරා ඔය (මල්වතු ඔය ශාඛාවන් වන) හරහා ගල් පාලමින් මොර ඔය හරහා රබෑව දී ද යාන් ඔය හරහා දෙමෝදර දී ද ගල් පාලම් හරහා පල්ලවවංක වරායට ප‍්‍රධාන මාර්ගයක් වැටී තිබිණ. මෙම මාර්ගයෙන් බෙදී යන තවත් මහා මාර්ගයක් කොකිලායි දෙසට වැටී තිබිණ.එය සළකුනු වන්නේ යාන් ඔයේ මෝරගම ගල් පාලමිණි. නැගෙනහිර ප‍්‍රධාන මාර්ගයෙන් බෙදී යන තවත් මාර්ගයක් යාන් ඔයේ කිඹුල්පිටියාව ගල් පාලමින් පල්ලවවංක වරායට සම්බන්ධ වේ. නැනෙහිර ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධවූ මාර්ගයක් කන්තලේ ආර හරහා (සමනල පාලම ප‍්‍රදේශයේ දී) ගල් පාලමින් සේරුවිල හා ලංකාපටුනට මන් කළ හැකි පැරණි මාර්ගයක් විය

කායන්කර්නි ගල් පාලමට අයත් සාධක

නැගෙනහිර වෙරළ කායන්කානිවල ඇති පුල්ලිපොත ආර හරහා ගල් පාලමින් පොළොන්නරුව සිට කසාතොට හරහා වාලචිචනේ මුහුදු ප‍්‍රදේශයට වූ මාර්ග සබඳතාව ඇතැම්විට පොළොන්නරු අගනගරයවීමත් සමග වැඩි වැදගත්කමක් හිමිවූවා විය හැකිය. මෙම මාර්ගය දිගේ ජනාවාස අඩු වුවද නොකඩවාම විහාරාරාමවල පිහිටිම සහ කුඩාවැව් ව්‍යාප්තිය ද ස්ථාවර යටිතල ව්‍යුහයක් ස්ථාපනය වී පැවතිණ.  මෙම මාර්ගය රෝහණ මහා මාර්ගයට ද සම්බන්ධ වූ අතර සේරුවිල දෙසට යාමේදීද භාවිතා කළ හැකිවීම නිසා අන්තර් ප‍්‍රදේශ මාර්ග ජාලයේ වෙළෙඳ සබඳතා සඳහා වූ යටිතල ව්‍යුහය ලෙස හඳුනාගත හැකි වේ.

අගනගරයේ සිට මල්වතු ඔය වම් ඉවුර ඔස්සේ වැටී තිබුණු මහාතිත්ථ ප‍්‍රධාන වෙළෙඳ මාර්ගයට තන්තිරමලේ ගල් පාලමින් මහාතිත්ථ වෙළෙඳ නගරයේ දකුණු ෙදාරටුවට සම්බන්ධ විය. අන්තර්ජාතිික වෙළෙඳ ජාලය සමග පැවති සම්බන්ධතාව නිසා මනා පාලනයකට යටත් වූ ක‍්‍රමානුකූල මාර්ග ජාලයක් යේ ප‍්‍රධානම පුරාවිද්‍යාත්මක අවශෙෂයන් කලා ඔයේ පාලම්කඩවල ගල් පාලම ස නගරය තුළ ස්ථාපනය වී පැවතිණ. අනුරාධපුර සිට උරුවෙල වරායට වූ මාර්ගයේ සිට වෙරෙදගොඩ විහාරයට වූ මාර්ගයේ නටබුන් වාර්තා වී ඇති අතර කරෙයිතිවි හා පෙරිවිල්ලූවල ද මාර්ග  සළකුනු 1920 දී වාර්තා කර ඇත. බෝහියර් 1924 දී මෙම මාර්ග සබඳතාව කල්ප්ටිය දක් වූ බව මාර්ග නටබුන් අනුව හඳුනා ගනී. කලා ඔයේ රදාතොට ගල් පාලම හා එම මාර්ගයේ දකුණු දිග විහිදීමට සම්බන්ධ සියඹලන්ගමු ඔය මුදින්නේගම පාලම ද අනුරාධපුර සිට දක්ඛිණ දේශයට වූ මාර්ගයේ ටිතල ව්‍යුහය වේ. මෙම මාර්ගය වර්තමාන අනුරාධපපුර කුරුණෑගල මාර්ගයට සමගාමීවේ. ප‍්‍රධාන විහාරාරාම මෙන්ම බලල්ල සිට පාදෙණිය දක්වා අම්පලම් ද තවදුරටත් ඉතිරිව ඇති සාධකයන් වේ.

අනුරාධපුර නගාරාශ‍්‍රිත කලාපයේ වාරිමාර්ග පද්ධති පුළුල් වීමත් සමග වඩාත් සංකීර්ණ වු මාර්ග ජාලයක් නිර්මාණය වුවා විය හැකි ය. එනම්, නුවරවැව සිට මහගල්කඩවල දක්වා වාරි ඇල සහ කනදරා වැව සිට මහගල්කඩවල වැවට සම්බන්ධ වාරි ඇලවල් ඉදිවීමත් සමග එම ඇල ඉවුරු අධිනාගරීකරණ කලාපයේ ජනාවාස අතර මාර්ග ලෙස ප‍්‍රයෝජනයට ගැනුණු අතර නගරාසන්න කලාපයේ මල්වතු ඔය හරහා බැඳි අමුණු ද, මාර්ග ලෙස භාවිත වන්නට විය. ශ‍්‍රී ලංකාවේ වාරි මාර්ග දැල් රටාව ප‍්‍රාදේශීය ප‍්‍රවාහන ජාලය සමග සැළසුම්ගත සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා රජකීය මැදිහත්වීම යටතේ සිදුවූවා ද යන්න පිළිබඳ ව මෙතෙක් ශ‍්‍රාස්ත‍්‍රීය පර්යේෂණයකට ලක් වී නැත. එසේ වුව ද ඇතැම් අවස්ථාවල දී ආරම්භයන් හා අවසානයක් නොපෙනෙන වියළි කලාපය පුරා ව්‍යාප්ත ව පැවති ලොකු කුඩා වාරි ඇල මාර්ගවල ඉවුරු ඓතිහාසික යුගය තුළ දිවයිනේ ප‍්‍රවාහන ජාලයට ඝෘජුව ම සම්බන්ධ ව පවතින්නට ඇතැයි අනුමාන කළ හැකි ය. චීන ශිෂ්ටාචාරයේ විස්තෘත ව්‍යාප්තියකින් යුත් කෘෂිබිම් අතර සැළසුම්ගත මාර්ග ජාලයන් ලෙස වාරි ඇල මාර්ගවල ඉවුරු එ්වායේ පළල අනුව මාර්ග පද්ධතියට සම්බන්ධ කර ගැනීම ක‍්‍රිස්තු වර්ෂ දෙවන ශත වර්ෂයේ සිට පැවති බව අනාවරණය කර ගෙන ඇත.

මාර්ග ඉදිකිරීම නඩත්තුව හා පවත්වාගෙනයාම

ක‍්‍රිස්තු පූර්ව 4 වන සියවසේ දී ලියන ලද කෞටිල්‍යගේ අර්ථශ‍්‍රාස්ත‍්‍රයේ රජු විසින් ජාතික හා ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන සම්බන්ධ කර ගනිමින් භාවිතයේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි මාර්ග ඉදි කළ යුතු බව සඳහන් වේ. අගනගරය තුළ, යුද හමුදා මූලස්ථානවල, වරාය, අලි ඇතුන් හා වෙනත් සතුන් ගෙන යන රථ සඳහා (ප‍්‍රමාණවත් පළලින් යුත්) සහ වෙළෙද (ජල මාර්ග හා ගොඩබිම් මාර්ග) මාර්ග ආදී  සියලු මාර්ගයන් ඉදි කිරීම්, පාලනය, පවත්වා ගෙනයාම අධිරාජයා විසින් කළ යුතු අතර වෙළෙඳ මාර්ගවල යන ගැල් සමුහයන් සොරුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ක‍්‍රියා මාර්ග ද රජුට අයත් කාර්යභාරයට අයත් වේ.

මාර්ග පවත්වා ගෙන යාම හා පරිපාලනය පිළිබඳ සාධක අගනගරය තුළින් ආරම්භ කිරීම වඩාත් වැදගත් වේ. නගරය තුළ මාර්ග ඉතා උසස් මට්ටමින් පවත්වා ගෙන යන ලද බව කි‍්‍රස්තු වර්ෂ 5 වන ශතවර්ෂයේ දී අනුරාධපුර ඇතුළු නගරයේ වීදි හොදින් සමතලා කර තිබු අතර උසස් නිමාවකින් යුක්තව පැවති බව පාහියන් (Fa-Yüan) භික්ෂුව වාර්තා කර ඇත. මාර්ග සන්ධිස්ථාවල ස්තූප, ධර්මශාලා පිහිටුවා තිබූ බව ද, වාර්තා කර ඇති අතර එ් සඳහා පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරු ද වේ. මාර්ග උස් පහත් වන ස්ථානවල පඩිපෙළ යොදා තිබිණ. නගර සීමාව තුළ ඉදිකර තිබූ වීදි ගල් ඵලක අතුරා තිබි අතර ඇතැම් වීදි දෙපස ප‍්‍රාකාර බැමි යොදා තිබූ බව මෑත කාලීන කැනීම් මගින් අනාවරණය කර ගෙන ඇත. ගල් පුවරු අතුරා ප‍්‍රාකාර බැමි යොදා ඉදි කර තිබූ වීදිවල නටබුන් අගනගරයෙන් හමු වී ඇත. අගනගරයේ පිට නගර සීමාව සහ ඇතැම් විට ඉන් ඔබ්බට ද මාර්ග ක‍්‍රමානුකූලව ඉදි කර තිබූණි. 1887 දී කේව් පෙන්වා දි ඇති පරිදි අනුරාධපුර තොලුවිල ප‍්‍රදේශයේ වූ මාර්ගයක ගල් ඵළක අතුරා, සෝදායාම වළක්වාලීම පිණිස මග දෙපස උස්ව සිටින සේ ගල් පුවරුවලින් ආවරණය කර, උස් පහත් වන ස්ථානවල පඩි කිහිපයක් ද යොදා ඉදි කර තිබිණි.

රිටිගල පෙත්මං

උසස් නිමාවෙන් යුත් වීදි හා මාවත් ප‍්‍රධාන විහාරාරාම සංකීර්ණ තුළ පැවති බවට අදත් හඳුනාගත හැකි සාධක පවතී. රිටිගල විහාර සංකීර්ණය තුළ ඇති ක‍්‍රමානුකූලවූත්, උසස් නිමාවෙන් යුක්තවූත්, පෙත්මං සහ මාවත් ඉහළ තාක්ෂණික නිපුණතාවන් ප‍්‍රකට කරන ප‍්‍රධාන උදාහරණයක් වේ. තාක්ෂණික ක‍්‍රමවේදයන් ස්ථානීය භූ දර්ශනය සමග මනා ලෙස ගැලපෙන පරිදි භාවිත කර තිබීම නිසා යාවජීව බව රැකී ඇත. ජාතික මාර්ග පද්ධතියේ දී මෙන්ම මෙහි දී කුඩා ඇල මාර්ග හරහා ගල් ඵලකයන් භාවිත කර ඇති අයුරු රිටිගල සහ රජගල විහාර සංකීර්ණ තුළ මාර්ග පද්ධතියවල දක්නට ලැබේ. සීගිරිය පර්වතය වෙත දිව යන ප‍්‍රවේශ මාර්ග, මිහින්තලේ කළුදිය පොකුණ ආදී විහාර සංකීර්ණය තුළ දක්නට ඇති මාර්ග, තිරියාය ස්තූපය වෙත ඊසාන-නිරිත දිශානුසාරී ව පිහිටුවා ඇති ප‍්‍රවේශ පියගැට පෙළ දෙක ද, මාවත් සඳහා එම ස්ථානවල වූ භූ දර්ශයන් මනා ලෙස ගලපා ගැනීම පිළිබඳ ව සහ මාවත් ඉදි කිරීම් තාක්ෂණික නිපුණතාවන් ද ප‍්‍රකට කරවන සාධකයන් කිහිපයක් වේ.

චීන, රෝම ශිෂ්ටාචාරවල මෙන්ම ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍යයේ ද ප‍්‍රධාන මාර්ග ඉදි කිරීම පාලනය, පවත්වා ගෙනයාම රාජකීය පාලනය යටතට අයත් විය. ශ‍්‍රී ලංකාවේ මාර්ග පද්ධති සම්බන්ධයෙන් නගර සැලසුම්වල අංගයක් ලෙස මාර්ග ඉදිකිරීම් පිළිබඳ ව අන්තර්ගත තොරතුරු හැරුණු විට රජවරු විසින් දරන ලද දායකත්වය පිළිබඳ තොරතුරු පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවල සහ වංශකතාවල සඳහන් වන අවස්ථා ඇත. ප‍්‍රධාන මාර්ගවල ගව් කණු ස්ථාපනය කිරීම, පාලම් ඉදි කිරීම, නගර සීමාවේ මාර්ග සන්ධිස්ථානවල, ප‍්‍රාදේශීය සහ ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල අම්බලම් ඉදි කරීම, නගරයේ සතර මංසන්ධිවල සතර දිගින් වඩිනා භික්ෂූන් වහන්සේලා සඳහා දාන ශාලා පිහිටුවීම, ශී‍්‍ර පාදය වැනි දුෂ්කර මාර්ගවල දාන ශාලා පිහිටුවීම සහ පවත්වාගෙන යාම සඳහා ප‍්‍රදානයන් කිරීම ආදී වූ කාර්යයන් රාජකීය අනුග‍්‍රහය යටතේ සිදු වූ බවට සාධක ඇත. කෞටිල්‍යගේ අර්ථශ‍්‍රාස්ත‍්‍රයේ දී රාජ්‍යයේ ජාතික හා ප‍්‍රදේශීය මාර්ග පද්ධති (ජල මාර්ග හා ගොඩබිම් මාර්ග) ඉදිකිරීම් පවත්වාගෙන යාම ආදී මාර්ග පිළිබඳ සියලු කාර්යයන් රජු විසින් ඉටු කළ යුතු වේ. මාර්ග පද්ධතියට විවිධ මාර්ග ඇතුළු වූ අතර නියමිත පළලින් යුක්තව ඉදි කළ යුතු විය. වෙළෙඳ මාර්ගවල ගමන් කරන ගැල්වලට ආරක්ෂාව සැපයීම, මාර්ගවල රාජකාරී සඳහා නිලධාරීන් යෙදවීම රජුට අයත් කාර්යයන් ලෙස සඳහන් වේ.

ප‍්‍රධාන මාර්ගවල අම්බලම් හෝ විශ‍්‍රාමශාලා පිහිටුවීම, ඉතා දිගු  ප‍්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල දුර මිනුම් එ්කක ලෙස ගල් කණු සිටුවීම, මගීන්ගේ පරිහරණය සඳහා  ළිං, පොකුණු, කුඩා වැව් ඉදි කිරීම ද විශේෂ ස්ථානවල සහ මංසන්ධිවල ගස් රෝපණය කිරීම, අවශ්‍ය ස්ථානවල ආරක්ෂිත කුටි ඉදි කිරීම, පළතුරු උයන් මග දෙපස පිහිටුවීම ආදිය රජු විසින් කළ යුතු බව සඳහන් වේ. චීනයේ ක‍්‍රිස්තු වර්ෂ තුන්වන ශත වර්ෂයේ දී Chhang-an අගනගරයේ මාර්ග ඉදි කිරීම් පිළිබඳ ව තොරතුරුවල ප‍්‍රධාන මාර්ගවල ගස් සිටිවන ලද්දේ අඩි 30ක පරතරයකින් බව වාර්තා වේ. අම්බලම් හෝ විශ‍්‍රාමශාලා පිහිටුවීම යම් නිශ්චිත දුර ප‍්‍රමාණයකට අනුව පිහිටුවන ලදී. මෞර්ය අධිරාජ්‍යයේ ප‍්‍රධාන මහා මාර්ගය වූ පාටලීපුත‍්‍ර නගරයේ සිට පෙෂවෝර් දක්වා වූ මාර්ගයේ (Grand trunk road) සෑම සැතපුම් 1.5 (helf korsa) කට විශ‍්‍රාම ශාලා පිහිටුවා තිබිණ. මාර්ගයේ පසෙක සෑම සැතපුම් 3කටම (one korsa) ගල් කණු (miles stone) සිටුවා තිබූ බව ද සඳහන් වේ. ඓතිහාසික මාර්ග පද්ධතියට සම්බන්ධ අම්බලම් වල නටබුන් මහනුවර යුගයට අයත් වුව ද එය පැරණි ගමන් මගම වේ. වර්තමාන කුරුණෑගල අනුරාධපුර මාර්ගය පැරණි මාර්ගයේ ගමන් මගට බෙහෙවින් ම සම වේ. මෙම මාර්ගයේ දළදාගම සිට පාදෙණිය දක්වා වූ පැරණි මාර්ගයේ පිළිවෙළින් දළදාගම, බලල්ල, කුඹුක්වැව, කුඩාගම හා පාදෙණිය යන ස්ථානවල එකිනෙකට සැතපුම් 1.5ක් පමණ පරතරය ඇතිව අම්බලම් පිහිටා තිබිණි. මෙම අම්බලම් මහනුවර යුගයට අයත් වුව ද ප‍්‍රධාන මාර්ගයන් ලෙස අඛන්ඩ ව භාවිතයේ පැවතීම පිළිබඳ ප‍්‍රබල සාධකයන් වේ.

පොළොන්නරුවේ වෙළෙද වීථියක්

ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධති ඉදිකිරීම, පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙවැනි ම පරිපාලන ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක වූ බව අනුමාන කළ හැකි ය. මෙම ඇතැම් කාර්යයන් පිළිබඳ මහාවංශය ඇතුළු සාහිත්‍ය මුලාශ‍්‍රයවල හා සෙල්ලිපිවල සඳහන් වන අවස්ථා ද ගවේශනවල දී අනාවරණය කර ගත් දත්ත ද වේ. පාහියන් වාර්තා කර ඇති පරිදි අනුරාධපුර නගරයේ ධර්මශාලා පිහිටුවා තිබු අතර මහාවංශයේ සඳහන් පරිදි 1 වන විජයබාහු රජු (ක‍්‍රි.ව. 1055-1110) පොළොන්නරු නගරයේ කරන ලද නාගරික අංගයන් අතර සතර දිගින් වඩිනා භික්ෂූන්වහන්සේලා සඳහා ධර්මශාලා පිහිටුවන ලදී. එම තොරතුරු ඉන්දීය ක‍්‍රමවේදයන් ශ‍්‍රී ලංකාවේ ද භාවිත වූ බවට සාධකයන් වේ. අර්ථශාස්ත‍්‍රයේ එන නියමයන්ට අනුව මෞර්ය චන්ද්‍රගුප්ත රජු නගරයට පැමිණෙන විවිධ ආගමික පූජකවරුන්ට නවාතැන් ගැනීම සඳහා නගරය තුළ ධර්මශාලා පිහිටු වන ලද බව ද, අශෝක අධිරාජයා ද එම කාර්යයන් නොකඩවා පවත්වා ගෙන ගිය බවත් සඳහන් වේ. පාහියන් වාර්තා කර ඇති පරිදි අනුරාධපුර නගරයේ ධර්මශාලා පිහිටුවා තිබු අතර මහාවංශයේ සඳහන් පරිදි 1 වන විජයබාහු රජු (ක‍්‍රි.ව.1055-1110) පොළොන්නරු නගරයේ කරන ලද නාගරික අංගයන් අතර සතර දිගින් වඩිනා භික්ෂූන්වහන්සේලා සඳහා ධර්මශාලා පිහිටුවන ලදී. ප‍්‍රධාන මාර්ගවලට සම්බන්ධව නගර සීමා කලාපයේ නගරය අවට ගව්වෙන් ගව්ව ප‍්‍රධාන මාර්ගවල භික්ෂුන් සඳහා ධර්මාගාර හා ධර්මශාලා අම්බලම් ආදී යටිතල ව්‍යුහයන් පිළිබඳ සාධක වාර්තා වේ. 1 වන පරාක‍්‍රමබාහු රජු නගරයට සතර දිගින් වඩිනා භික්ෂූන් සඳහා ගව්වෙන් ගව්ව ධර්මශාලා ද, නගරයේ නොයෙක් වීදි ආදී අනෙකුත් නාගරික අංගයන් ද ඉදි කරන ලදී.

1 වන විජයබාහු රජු විසින් ශී‍්‍ර පාද මාර්ගයේ ”ගව්වෙහි අප නමින් ගව්වක දන්හලක් බැගින් කරවා” යනුවෙන් අඹගමුව පර්වත ලිපියේ රජරට සිට ශ‍්‍රීපාද මාර්ගයේ අවසාන ගව් පහ අතර ගව්වෙන් ගව්ව දානශාලා කරවූ බව සඳහන් වේ. මහාවංශයේ රජු විසින් මෙම දානශාලාවල නඩත්තුව සඳහා ගම් ප‍්‍රදානයන් පිළිබඳ ව තොරතුරු ඇතුළත් වන අතර ඌව රට මාර්ගයේ සහ  කෙහෙල්හේනාවල මාර්ගයේ ද දානශාලා කරවූ බව සඳහන් වේ.

ඓතිහාසික යුගයේ අම්බලම් ඉදිවීම රාජකීය අනුග‍්‍රහය යටතේ සිදු වූ බව වර්තමානයේ ඉතිරිව ඇති නුවර යුගයට අයත් අම්බලම්වල වාස්තුවිද්‍යාත්මක සැලසුම් අනුව නිගමනය කළ හැකි ය. ශ‍්‍රී ලංකාවේ අම්බලම් පිහිටුවන ලද දුර ප‍්‍රමාණයන් පිළිබඳ ව සාධක වාර්තා නොවේ. එසේ වුව ද, අනුරාධපුර සිට දක්ඛිණ දේශයට වැටී තිබුණු දළදාගම සිට පාදෙණිය දක්වා වූ පැරණි මාර්ගයේ පිළිවෙළින් දළදාගම, බලල්ල, කුඹුක්වැව පිහිටුවා තිබූ අම්බලම් අතර එකිනෙකට සාමාන්‍ය දුර සැතපුම් 1.5ක් වේ. මෙම අම්බලම් මහනුවර යුගයට අයත් වුව ද ප‍්‍රධාන මාර්ග ලෙස අඛන්ඩ ව භාවිතයේ පැවති බව නිගමනය කළ හැකි ය. අම්බලම් පිහිටුවන ලද්දේ ජල පහසුකම් සළසා ගත හැකි ස්ථානයක ය. මගීන්ගේ ප‍්‍රයෝජනය සඳහා වු පින්තාලිය හෝ පැන්තාලිය, ආහාර පිස ගැනීමට හා රැය නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් අම්බලමක් තුළ පැවතිණ. දුර ගමන් යෑමේ දී මගීන් පිසූ ආහාර හෝ නොපිසූ ආහාර ද්‍රව්‍ය රැගෙනයාම සාමාන්‍ය පුරුද්ද විය. ක‍්‍රිස්තු වර්ෂ 8-10 ශත වර්ෂවලට අයත් සෙල්ලිපිවල බිලිබත්, බිලිසාල් යනුවෙන් හඳුන්වා ඇත්තේ පිසූ ආහාර හා නොපිසූ ආහාර යන අර්ථයෙනි. වර්තමානයේ මේ සඳහා පැහිදුම් හා අඩුක්කු යන්න එම අර්ථයෙන්ම භාවිත වේ.

තොටමුණු ආසන්නයේ මෙන් ම ප‍්‍රධාන විහාරාරම ආසන්නයේ ද, නගර සීමාවන්හි ද, අම්බලම් පිහිටුවා තිබීම ඓතිහාසික මාර්ග පද්ධතියේ සුලභව දැකිය හැකි ලක්ෂණයකි. එය කාලීන අවශ්‍යතාවක් ව පැවතියේ දුර ගමන්වල දී රැය ගත කිරීම සහ ගංගාවන් හරහා යානොහැකි තරමට ගඟදිය වැඩිවන අවස්ථාවල දී ජලය බැස යනතෙක් නවාතැන් ගැනීමත් ආදී ස්වාභාවිකත්වයට ගැලපෙන පරිදි  සංවිධානගතවීම නිසා ය. 1 වන පරාක‍්‍රමබාහු රජ පොළොන්නරු නගර ප‍්‍රාකාරයට සම්බන්ධ විවිධ වීදි කර වූ බවත්, වීදි දෙපස දෙමහල්, තුන්මහල් ප‍්‍රාසාද සහ සල්පිල් ඉදිකොට වීදි අලංකාර කර තිබු බවත් දිනපතා ඇත්, අස්, රිය, පාබල යන චතුරංගණි සේනා වීදිවල සංචාරය කළ බවත් මහාවංශය සඳහන් කරයි. මේ කාලය තුළ රජු විසින් අනුරාධපුර නගරයේ පෙර රජවරුන් විසින් කරවන ලද වීදි ද, ප‍්‍රතිසංස්කරණය කරන ලද බව ද, මහාවංශයේ සඳහන් ව ඇත.

අම්බලම් හා පාලම් තැනීම පිළිබඳ තොරතුරු රාජකීය අනුග‍්‍රය යටතේ ම සිදු වු බවට සාධක 2 වන පරාක‍්‍රමබාහු (ක‍්‍රි.ව.1236-1270) රජ සමයේ වාර්තා වී තිබේ. රජු විසින් දිවයිනේ බොහෝ තැන්හි අම්බලම් කරවා පාලම් තනවා, මහවනය කපා මහා මාර්ග කරවූ බව මහාවංශයේ සඳහන් වේ. රජුගේ දේවපතිරාජ නම් සෙනෙවියා විසින් ශ‍්‍රීපාද මාර්ගයේ කණමැදිරි ඔය, උලපනේ, අඹගමුව, යන ස්ථානවල ශක්තිමත් දැව පාලම් ඉදි කරන ලද අතර එ්වාට පියසි ආවරණ ද යොදා තිබිණ. නුවර යුගය දක්වා ම මෙම ක‍්‍රමය පැවති බව අනුමාන කළ හැකි ය. බෝගොඩ රජමහාවිහාරයට යාම සඳහා උමා ඔය අතු ශාඛාවක් වූ ගල්ලැන්ද ඔය හරහා ඉදි කරන ලද වහලය සහිත දැව පාලම එ් සඳහා ශේෂව ඇති එකම ස්මාරකය ලෙස සැලකිය හැකි ය. මාර්ග ආශ‍්‍රිත කාර්යයන් ඇතැම් විට රජුගේ ඇමතිවරයකු හෝ පරීක්ෂකවරයකු යටතේ සිදු විය. රජුගේ අනුග‍්‍රහය යටතේ පමණක් නොව සාමාන්‍ය රට වැසියන් ද, විහාරාරමවල මාර්ග ඉදි කිරීමට දායක වී අති බවට සාධක ඇත. ගල් පාලම් ඉදි කිරීම රජකීය දායකත්වය යටතේ සිදු වූ නිසා ප‍්‍රධාන මාර්ග හා සම්බන්ධ පාලම්වල ඉදි කිරීම් තාක්ෂණයේ සමානත්වයක් හඳුනාගත හැකි ය. පාලම් ඉදි කිරීමේ දී ජල මාර්ගයේ ජල ධාරිතාව පිළිබඳ ව මනා අවබෝධයකින් පාලම්වල උස, භාවිත කරන ලද ගල් කණුවල ප‍්‍රමාණයන් තීරණය කරන ලද බව මල්වතු ඔය සහ යාන් ඔය ගල් පාලම් අධ්‍යයනයෙන් අවබෝධ කර ගැනීම අසීරු නොවේ. භාවිතයේ වැදගත් වූ මාර්ග අනුව පාලම්වල ශක්තිය හා නිමාව තීරණය විය. එ් අනුව මල්වතු ඔයේ උතුරු හා නැගෙනහිර මාර්ග හා සම්බන්ධ පාලම්, කලාඔය රදාතොට හා පාලම්කඩවල, මහකනදරාව සහ යාන් ඔය ආදී ගංගාවල ඉදි කර තිබූ පාලම් ප‍්‍රධාන මාර්ග හරහා ඉදි වූ එ්වා විය. මෙම ප‍්‍රධාන පාලම් හරස් ගල් කණු තුනක් මත ඉදි කරන ලදී. අඩු ජල ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය වන කල් ආරු (මහනකදරා ඔය අතු ශාඛාවක් වූ) හරහා, උතුරු මහා මාර්ගයේ පුවරසන්කුලමේ කල් ආර හරහා, අනුරාධපුර-සේරුවිල මාර්ගයේ කන්තලේ ආර හරහා සහ පුල්ලියන්පොත ආර හරහා කායන්කානිවල ඇති පාලම් හරස් ගල් කණු දෙකක් මත ඉදි කරන ලද පළලින් අඩු පාලම් වේ.

ඓතිහාසික ගල් පාලම්වල කාල නිර්ණය හා තාක්ෂණය පිළිබඳ ව අධ්‍යනය කළ හැකිි සාධක මහකනදරාවගල් පාලමේ දක්නට ඇත. එහි අතුරන ලද එක් ගල් ඵලකයක් හැර සෙසු සියල්ල අදත් ශේෂව පවතී. මෙම පාලම කනදරා ඔයට ගලා එන අතු ශාඛාවක් හරහා ඉදි කරන ලද්දකි. ඓතිහාසික මූලාශ‍්‍රය වාර්තා කර ඇති පරිදි මහකනදරා වැව මහසෙන් (ක‍්‍රි.ව. 274-301) රජු විසින් කරන ලද සේ වාර්තා වී ඇති කනාවැව ලෙස හඳුනාගත හැකි ය. කනාවැව ඉදි කරන ලද්දේ කනදරා ඔයේ ඉහත සඳහන් කළ පාලම ඉදිව තිබුණු අතු ශාඛාව ම හරස් කර ගනිමිනි. වැව ඉදි වීමෙන් පසු අතු ශාඛාව වාන් ඇල බවට පත් වීම නිසා අවුරුද්දේ වැඩි කාලයක් එය වියළි නිම්නයක් ලෙස පැවතිණ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ අධික වැසි ඍතුවේ දී ගලා යන ජලධාරිතාවට ලක් නොවීම නිසා පාලම හොදින් ආරක්ෂා වී ඇති අතර එ් අනුව පාලම, වැව තැනීමට පෙර ඉදි කරන ලද බව සනාථ වේ. අද අප දකින කනදරාවැව ඓතිහාසික යුගයේ මෙන්ම නිදහසින් පසු කෘෂිකාර්මික ව්‍යාපෘති යටතේ ද විශාල කරන ලද්දකිි. මෙම පාලම්, ශ‍්‍රී ලංකා ඉදි කිරීම් ක්‍ෂේත‍්‍රයේ වඩාත් ශක්තිමත් ලෙස ස්ථාවර බැමි බැදීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන් භාවිතය හා සමගාමී ව ක‍්‍රිස්තු පූර්ව 1 වන ශත වර්ෂය හා  ක‍්‍රිස්තු වර්ෂ 1 වන ශත වර්ෂ අතර කාල පරාසයට අයත් වූවා විය හැකි ය.

කනින ලද සිදුරු සහිත ගල් හා කුඩිම්බි සහිත ගල් කණු

පාලම්වල ගල් කණු හා ඵලක එකිනෙකට සම්බන්ධ කරන ලද්දේ ගල් කණු කුඩිම්බි සහිත ව ද, ඵලක, කනින ලද සිදුරු සහිත ව ද සකස්කර ගැනීමෙනි. අනුරාධපුර නැගෙනහිර ෙදාරටුව ගල් පාලමේ දකුණු ඉවුරේ ඉතිරි වී ඇති ගල් කණුවල කුඩිම්බි දක්නට ඇත. නැගෙනහිර ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ යාන් ඔයේ බ‍්‍රාහ්මණයගම ගල් පාලමේ කුඩුම්බි හා ගල් ඵලකවල කනින ලද සිදුරු දක්නට ඇත. ගල් කණු මත එකිනෙකට සම්බන්ධ වන පරිදි ගල් ඵලක අතුරා ඉතා සරළ වුව ද ශක්තිමත් පාලම් ඉදි කර ගැනීමට එම තාක්ෂණය ප‍්‍රමාණවත් විය. පාලම් ඉදි කිරීමේ දී ස්ථානීය භූදර්ශනයට ගැලපෙන සේ තාක්ෂණික ක‍්‍රමවේද හසුරුවා ගැනීම උසස් මට්ටමක පැවතිණ. 1 වන පරාක‍්‍රමබාහු රජ සමයට අයත් සේ පෙර පරිච්ෙඡ්දයක දී සාකච්ඡා කරන ලද ගිරිබාවේ කලා ඔය හරහා පිහිටි දැව පාලම, ඔය හරහා විහි දී යන ගල්තලාවේ ස්වාභාවික පිහිටීම මනා ලෙස තාක්ෂණයට නතු කර ගෙන ඉදි කරන ලද්දකි. ඔයේ වම් ඉවුරේ සිට අඩි 6ක් පමණ උසින් යුක්ත ව විහිදී යන ගල් තලාව ක‍්‍රමයෙන් අඩි 17ක් පමණ උපරිම උසක් දක්වා ඉහළ නැග නැවතත් ක‍්‍රමානුකූලව දකුණු ඉවුර දෙසට අඩි 2.5ක් පමණ උසින් යුතුව බෑවුම් වීයයි. ගල් තලාවේ ඇති කණු වළවල් අනුව ගලේ උස් ස්ථානය පාලමේ පාදමක් කර ගනිමින් දෙපසට විහි දී යන ලෙස දැව කණු හා දැව ඵලකයන් යොදා ගනිමින් පාලම ඉදි කර ඇත. ඓතිහාසික යුගය තුළ ගංගා පෝෂක ප‍්‍රදේශයට පතිතවීම සලකන විට පාලමේ මෙම උස් මට්ටම කලා ඔයේ ගලා ගිය ජල ධාරිතාවට ගැලපෙන ලෙස නිර්මාණය වූවා විය  හැකි ය. හරස් අතට කණුවලවල් 5ක් බැගින් වූ වළවල් 214ක් මෙම ගල් තලාවේ හඳුනාගත හැකි වේ. දිගින් පළලින් හා ගැඹුරින් අඩියක් වන සමචතුරස්‍රාකාර කණු වළවල් සහ එම ප‍්‍රමාණයන් අඟල් 9 සහ 8 දක්වා වෙනස් වන කණු වළවල් ද වේ.  පාලමේ පළල අඩි 26ක් ඉක්මවන අතර දිගින් අඩි 341ක් පමණ වේ. වම් ඉවුරේ ඇති අඩි 18ක් පමණ උසින් යුත් ගල් බැම්මේ අඩි 10ක පමණ කොටසක් ඉතිරි ව ඇති අතර මාර්ගය පස් පුරවා උස් මට්ටමින් තනා තිබිණ. මහාවංශය සඳහන් කර ඇති පරිදි මෙම පාලම පරාක‍්‍රමබාහු රජුගේ සෙනෙවියකු විසින් චතුරංගනී සේනාවට කලා ඔයෙන් යාහැකි පරිදි යකඩ ඇණ හා දැව භාවිත කරමින් ඉතා ශක්තිමත් ව රියන් 200ක් දිගින් ද රියන් 20ක් පළලින් ද යුක්තව ඉදි කරන ලදී.

නගර සීමාවෙන් පරිබාහිර ප‍්‍රදේශවල ව්‍යාප්ත වු ප‍්‍රධාන මාර්ගයන්හි නඩත්තු කටයුතු ක‍්‍රමානුකූලව සිදු වූ අවස්ථා පිළිබඳ සාධක පවතී. එම මාර්ගවල පැවැත්ම එ්වායේ භාවිතය සමග රැදී පැවතිණ. නිරන්තරයෙන් භාවිතයට නොගැනුණ මාර්ග විශේෂ අවස්ථාවල දී එනම්, රජු හෝ රාජකීයයන් ගමන් කිරීමට පෙර පිළිසකර කිරීමේ සම්ප‍්‍රදායක් පැවති බවට සාධක ඇත. දිවයිනේ දේශගුණික රටාව අනුව මෙවන් සම්ප‍්‍රදායක් පවත්වා ගෙනයාම අත්‍යවශ්‍ය වූවා විය හැකි ය. දුටුගැමුණු කුමරු මාගම සිට භික්ෂූන් වහන්සේලා සහ යෝධයන් පිරිවරා කඩොලැතු පිට නැගී ගමන් කිරීමට නියමිත ව තිබූ මාගම සිට මලය රට ඔස්සේ අනුරාධපුරයට වැටී තිබි මාර්ගය වෘක්ෂලතාදිය ඉවත් කර පිළිසකර කරන ලද බව මහාවංශය සඳහන් කර ඇත. 1 වන පරාක‍්‍රමබාහු රජුගේ සටන් සංවිධානයේ දී, සේනාව යායුතු මාර්ග හා අතුරු මාර්ග, තම චර පුරුෂයන් යා යුතු සුදුසු මාර්ගවශයෙන් මාර්ග සලකුණු හොදින් පරීක්ෂාකර සේනාවන් මෙහෙය වූ බව මහාවංශයේ විස්තර කර ඇත. විසුද්ධිමග්ග සන්නය සඳහන් කරන පරිදි වර්ෂාපතන ඍතුවේ දී බොහෝ ගැල් මාර්ග සෝදා යාමට ලක්වීමත්, මඩ ගොහොරු බවට පත්වීමත්, වෘක්ෂලතාදියෙන් වැසීයාමත් වියළි ඍතුවේ දී දුවිල්ලෙන් ගහනවීමත් සාමාන්‍ය ලක්ෂණය විය. මේ නිසා දිවයිනේ දේශගුණික ස්වභාවය අනුව සෑම වර්ෂාපතන ඍතුවකින් පසුව එළඹෙන නියං ඍතුවේ දී මාර්ග පිළිසකර කිරීම සිදු වූවා විය හැකි ය.

ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට ක‍්‍රිස්තු පූර්ව 1 වන ශත වර්ෂය දක්වා පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපිවල මාර්ග පරිපාලනය හා සම්බන්ධ නිලධාරීන් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. මිහින්තලේ අන්නෙයිකුට්ටිකන්ද පූර්ව බ‍්‍රාහ්මී ලිපි අතර පකරඅදෙක යන නිලධාරියා විසින් පූජා කරන ලද ලෙනක් පිළිබඳ සඳහන් වේ. පරණවිතාන පරකඅඩික යන්නට අර්ථ දක්වා ඇත්තේ මාර්ග පරීක්ෂක යනුවෙනිි. වව්නියා දිස්ත‍්‍රික්කයේ පෙරියපුලියන්කුලමේ ඇති සම කාලීන ලිපියක ලෙන් පූජා කළ අය අතර අසඅඩික යන නිලධාරියෙක් වේ. මේ සදහා අර්ථ දී ඇත්තේ අශ්ව සේනා පරීක්ෂක යන්නයිි. සිවකඅඩික යන නිලය ද ප‍්‍රවාහන පරිපාලන කාර්යයන් හා සම්බන්ධ වේ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුරුලෙන පූර්ව බ‍්‍රාහ්මී ලෙන් ලිපියක සඳහන් මෙය දෝලාව හෝ සිවිගේ පරීක්ෂක ලෙස අර්ථ දක්වා ඇත. ක‍්‍රිස්තු පූවර් 3 වන ශත වර්ෂයේ සිට මාර්ග හා සම්බන්ධ සේවාවන් රජුගේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වූ බවට සාධකයන් වේ. ක‍්‍රිස්තු වර්ෂ 8 වන ශතවර්ෂයේ සිට 10 වන ශතවර්ෂය දක්වා %C

අනුරාධපුර යුගයේ සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලාව

අයි.ඩී.එම්. විජේබණ්ඩාර

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

අයි.ඩී.එම්. විජේබණ්ඩාර

ප‍්‍රස්තූත විෂය කරුණ අරඹයා විමර්ශනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වන අතර එය දුෂ්කර කර්යයක් ද වනු ඇත. සාහිත්‍යයික හා ප‍්‍රායෝගික තොරතුරු සමුදායකින් සුසැදි තත් යුගයේ ඉහත විෂය සුවිසල්, පුළුල්ව විසිරි පවත්නා පරාසයක් නිසාවෙනි. මුඛ්‍යාර්ථ සාහිත්‍යයෙහි ලා අවධානය යොමු කරමින් සම්පිණ්ඩණාත්මක විමසුමක යෙදෙන්නට වැඩිමනක් අදහස් කරමි.

සාහිත්‍යය

මහින්දාගමනයත් සමඟම මෙරට විසූ මහතෙරුන් හෙළ බසින් තැබූ සාහිත්‍යය ස්කන්ධයේ වස්තු විෂය ප‍්‍රධාන තේමා දෙකකට අයත් ය. බුද්ධභාෂිතය සඳහා වූ අර්ථ විවරණ හෙවත් අටුක ග‍්‍රන්ථ සහ ශාසන ඉතිහාසය වශයෙනි. සාපේක්ෂ වශයෙන් පසු කාලීනව ඉන්දියාවේ පාලි භාෂාමය ථෙරවාදි ති‍්‍රපිටකය අභාවයට ගිය ද මෙරට එය සුරක්ෂිතව පැවතීම දේශීය අනන්‍යතාවට මහත් වූ පිටිවහලක් බව නොකියාම බැරි ය. ති‍්‍රපිටකය ආශි‍්‍රතව පැරණි සිංහල සාහිත්‍යය ද, විවරණාත්මක ග‍්‍රන්ථ, ආගමික සාහිත්‍යය, දෙ රටෙහි ඓතිහාසික විස්තර යනාදිය සංගෘහිතව ප‍්‍රමාණාත්මක සංවර්ධනයක් දක්නට විය. මහාවිහාරයීය සම්ප‍්‍රදාය පාලි පාඨ වශයෙන් සැපයූ දීපවංශය සිංහල කතුවරයෙකු විසින් එ් බසින් ලිවීමට දැරූ උත්සාහයන් සාහිත්‍යයෙහි සඳහන් ය. මෙරට තිබූ අධ්‍යයන මූලායතන ගණනාවකම තිබූ විවරණාත්මක ග‍්‍රන්ථ ගද්‍යයෙන් ලියා තිබිණ.

මෙරට බුදුසසුන පිහිටුවීම පිළිබඳ තොරතුරු ජය ශී‍්‍ර මහා බෝධිආගමනය, භික්ෂුභික්ෂුණි කථා, මහාථූපය පිළිබඳ පුරවෘත, දුට්ඨගාමිණී රජුගේ සටන් ව්‍යාපාරය, දස මහායෝධයන් පිළිබඳ විස්තර කථන, ජන සාහිත්‍යය ආදී වශයෙන් වූ සාහිත්‍යයික තොරතුරු විවිධ ගුරුකුල පරම්පරා හරහා මුඛ වාචිකව පවත්වා ගෙන එන ලදි. කිතුවසින් පළමු වන සියවස තෙක් මෙසේ කට පාඩමින් රැකගෙන ආ හෙළටුවා, වට්ටගාමිණී අභය රාජ්‍ය සමයේ (කි‍්‍ර.පූ. 103-77) සාමුහික සංගායනාවක ස්වරූපයෙන් මාතලේ අලුවිහාරයේ දී ග‍්‍රන්ථාරූඪ කළ බව ඉතිහාසයේ සඳහන් ය. මෙලෙසින් සංග‍්‍රහ කරන ලද අටුවා පොදුවේ හෙළටුක නමින් ප‍්‍රසිද්ධ ය. මහ අටුවාව හෙවත් මුල් අටුවාව මෙහි ප‍්‍රධානම කොටසයි. සමස්ත ති‍්‍රපිටකයට අළලා රචිත අටුවාවයි. මීට අමතරව මහ පසුරු අටුවාව හෙවත් මහා පච්චරි අටුවාව, කුරුඳු අටුවාව හෙවත් කුරුන්දි අටුවාව, අන්ධ අටුවාව යනුවෙන් අටුවා කීපයක් ගැන සඳහන් වේ.

පැරණි පුස්කොළ ලේඛන (මෙම ඡායාරූපය https://www.pbagalleries.com වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

කිතුවසින් සිව්වන සියවස පමණ වන විට හෙළ බසින් තිබූ මෙම අටුවා පාලි භාෂාවට නැගීමේ අවශ්‍යතාව පැණ නැගී ඇති බව පෙනේ. තත් යුගයටම අයත් සේ සැලකෙන දීපවංසය, සහස්සවත්ථුප්පකරණය සහ සීහල වත්ථුප්පකරණය පාලි භාෂාවෙන් රචිත ග‍්‍රන්ථයන් ය. ඉන්දීය ශාසන ඉතිහාසයේ සිට මහින්දාගමනය දක්වා ද, මහින්දාගමනයේ සිට මහසෙන් රජ අවධිය දක්වා මෙරට ශාසන ඉතිහාසය ද විෂය කොට ගනිමින් දීපවංශය රචිත ය. සහස්සවත්ථුප්පකරණය සහ සීහල වත්ථුප්පකරණය භාරතීය ජන කථා මෙරට ජන කථා එක්තැන්කොට රචිත ග‍්‍රන්ථ ද්වයකි. හෙළ බසින් වූ සාහිත්‍ය පාලියට නැගීමේ අභිප‍්‍රායක් ලෙස උගතුන් විසින් අවධානයට ලක් කර ඇති කරුණු කිහිපයකි. එවකට ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් පැවති මහායාන දර්ශනයට මුහුණු දීමට ථේරවාදි සාහිත්‍යධරයන්ට අභියෝගයක් විය. ථේරවාදි සාහිත්‍ය වැඩිමනක් එවකට රැඳී පැවතියේ ශී‍්‍ර ලංකාවේ වූ අතර එය හෙළ බසින් විය. මෙය ථේරවාදි සම්ප‍්‍රදාය පැවති විදේශීය රටවල උගතුන්ට කියවා ගත නොහැකි වූ නිසාවෙන් තත් සමයේ ථේරවාදි රටවල පොදු අන්තර්ජාතික භාෂාව වූ පාලියට නැඟීමේ අවශ්‍යතාව පැන නැගිණ. මෙකී අවශ්‍යතාව මුදුන් පමුණුවා ලනු වස් මෙරට මහානාම රජ දවස භාරතයේ සිට මෙරටට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන්හට මහාවිහාරයීය භික්ෂූන් විසින් එකඟතාව පළකොට හෙළ අටුවා පාලියට නගනු පිණිස භාරදුන් බව වංශකථාවේ සඳහන් වේ.

බුද්ධධර්මය ක‍්‍රමානුකූලව විස්තර කෙරෙන විසුද්ධිමාර්ගය නම් ග‍්‍රන්ථය බුද්ධඝෝෂ හිමියන්ගේ ස්වාධින සංග‍්‍රහයකි. විසුද්ධිමාර්ගය ලියූ පසු අවසරය ලද බුදුඝොෂ් හිමියන් හෙළටුවා රාශ‍්‍රියක් පාලියට පරිවර්තනය කරන ලදි. ඒ අතර සමන්තපාසාදිකාව, කංඛාවිතරණී නම් විනය පිටකය අටුවාව ද, සුමංගල විලාසිනිය, පපඤ්ඡසූදනිය, සාරත්ථප්පකාසිනිය, මනෝරථපූරණිය නම් වූ සූත‍්‍ර පිටකයේ අටුවාව ද එමෙන්ම ධම්මපදට්ඨ කථා, ජාතකට්ඨ කථා සහ පරමත්ථජෝතිකා නම් ග‍්‍රන්ථය ද අභිධර්ම පිටකයේ අටුවා සේ සැලකෙන අත්ථශාලිනී, සම්මෝහවිනෝදනී, පඤ්චප්පකරණය, අට්ඨකථා යනාදී ග‍්‍රන්ථ පාලියට නගන ලද ග‍්‍රන්ථ සේ සලකනු ලබයි. බුද්ධඝෝෂ හිමියන් ඉහත ග‍්‍රන්ථ පාලියට නැගුව ද මෙකී උත්තුංග කාර්යයට සහභාගී වූ තවත් තෙරවරුන් කිහිප නමක් ගැනද තොරතුරු සඳහන් ය. විනය හා අභිධර්ම ග‍්‍රන්ථයන්හි සාරය රචනා කළ බුද්ධදත්ත හිමි මහාවිහාර සම්ප‍්‍රදාය සිය කෘති වලට පදනම කරගනිමින් දක්ෂිණ භාරතයේ සිට මෙම අට්ඨකථා ලියා ඇති බව සඳහන් වේ. මීට අමතරව ධම්මපාල හිමි, උපසේන හිමි, මහානාම හිමි එකල සිටි පඬිවරු කීපදෙනෙකි.

ධාතුසේන රජ දවස මහාවිහාර වංශයේ යතිවරයකු වූ මහානාම හිමියන් විසින් මහාවංශය රචිත බැව් ප‍්‍රකට කරුණකි. මහාබෝධිය පිළිබඳ සිහල බසින් ලිය වී තිබිණැයි සැලකෙන වංශකථාව උපතිස්ස නම් ථෙර කෙනෙකුන් විසින් පාලි මහාබෝධිවංශය නමින් රචනා කොට ඇත. මෙය අනුරාධපුර පශ්චාත් සමයට අයත් සේ සැලකේ. එමෙන්ම වංසථප්පකාසිනිය නම් මහාවංශ ටීකාව ද අනුරාධපුර අගභාගයට අයත් කෘතියකි. අනුරාධපුර අභයගිරි විහාරය ආශ‍්‍රයෙන් ද පාලි සාහිත්‍යය කෘති බිහි වී තිබිණි. උතුරු විහාර අටුවාව හෙවත් උත්තර විහාර අට්ඨ කථාව නම් වූ හෙළටුවා ව එසේ වූවකි. සද්ධර්මෝපායනයන නම් පාලි පද්‍ය කාව්‍ය ද අභයගිරි ථෙර නමකගේ කෘතියකි.

කි‍්‍රස්තු වර්ෂ හයවන සියවස පමණ වන විට ශී‍්‍ර ලංකාව ථේරවාදී බෞද්ධ ලෝකයේ මූලස්ථානය වන තරමට ප‍්‍රසිද්ධියට පත් ව තිබූ අතර එවකට පැවති හෙලටුවා සියල්ල ද පාලියට පරිවර්තනය වී තිබූ අයුරු වංශකථා අනුව පෙනේ. මෙය ති‍්‍රපිටක සාහිත්‍ය වෙනත් රටවලට ව්‍යාප්ත වීමට ද බෙහෙවින් ඉවහල් විය. ති‍්‍රපිටක සාහිත්‍ය පාලි භාෂාවට නැඟීමෙන් හෙළටුවා ක‍්‍රමයෙන් අභාවයට යෑමේ ප‍්‍රවණතාව ද දැකිය හැකි ය. හෙලටුවා අතර පැවති මහබෝවස, චේතියවංශය, දළදාවංශය, කේසධාතුවංශය ආදී වංශකථා ද සීහලවත්ථු, සහස්සවත්ථු ආදී ග‍්‍රන්ථ රාශියක් ද කි‍්‍රස්තු වර්ෂ දහවන සියවස පමණ දක්වා ආරක්ෂා වී තිබිණි. ඉන්පසු එය අභාවිත වී නැවත දක්නට නොලැබෙන අයුරින් සිංහල සාහිත්‍යයට අහිමි විය.

සිංහල භාෂාව පද්‍ය සාහිත්‍යමය කටයුතු සඳහා යොදා ගනිමින් පද්‍ය නිර්මාණයන් ද කෙරී ඇත. ෙරත්සන පරණවිතානයන්ට අනුව කි‍්‍රස්තුවර්ෂ පළවන සියවස තරම් ඈතට විහිදෙන ඇතැම් ශිලාලේඛන මගින් මෙය තහවුරු වන බව පෙන්වා දී ඇත. තිස්සමහාරාම කිරින්දේ පර්වත බෑවුමක ඇති ලිපියක්, තිස්ස වැව අසළ අකුරුගොඩ ගල්ටැඹක කොටා ඇති ලිපියත් පද්‍යයෙන් රචනා වී ඇති ලිපි දෙකකි. සිරිමේඝවර්ණ රජ දවස ශී‍්‍ර ධන්තධාතූන් වහන්සේ හා සබැඳිව සිංහලයෙන් පද්‍ය බන්ධනය වීමක් සිදු වූ බව වාර්තා අතර දක්නට ඇත. දහතුන්වන සියවස ආරම්භයේ දී පාලි ධාතුවංසය ලිවීමට පාදක වී තිබෙනු යේ් මෙකී සිංහල පද්‍ය බන්ධනයයි. සීගිරි කැටපත් පවුරේ ලිය වී ඇති Sigiri Graffity හි සඳහන් පද්‍යයනට අමතරව මෑත කාලීන උගතුන් විසින් අනාවරණය කර ගත් පද්‍යයන් ද ඇතුළුව දහසකට වැඩි පැදි ගී සාහිත්‍යය මගින් අනුරාධපුර යුගයේ පැවති උසස් සාහිත්‍යය කෙබඳු වී ද යන්න අවබෝධ කොට ගත හැකි ය. දිවයිනේ නන් දෙසින් සීගිරිය නැරඹිමට පැමිණි ජනී ජනයා විසින් සීගිරි ලලනාවන් පිළිබඳ ලියන ලද සිය කාව්‍ය සංකල්පනාවන් පසක් කරනුයේ සම කාලීන යුගයේ ජනතාව තුළ පැවති රසිකත්වය පිළිබඳ ඉඟියකි.

පෙර රජ දරුවන් ව්‍යක්ත කවීන් ද වූහ. මහාකවි කාලිදාසයන් හා සම කාලීනයකු සේ සැලකෙන කුමාරදාස රජතුමා (ක‍්‍රි.ව. 508-516) රාමා සීතා වෘත්තාන්තය ඇසුරින් රචිත ජානකීහරණය නම් විශිෂ්ඨ සංස්කෘත කාව්‍යයේ කතුවරයා වන්නේ ය. දෙවන මොග්ගල්ලාන රජු (කි‍්‍ර.ව. 531-551) බුදු දහම අළලා රචිත කාව්‍ය මඟුලැතු පිට නැඟී නුවර සැරි සරමින් හඩ නඟා කියූ බව වංශකථාවේ සඳහන් ය. පළමු වන අග්ගබෝධි රජු (කි‍්‍ර.ව. 571-604) සමයේ විසූ සුප‍්‍රකට කවීන් දොළොස් දෙනෙකු ගැන වංශකථාව තොරතුරු හෙළිකරයි. දැහැමි, තෙමල්, බැබිරි, බිසෝ, දලබිසෝ, අනුරුත්, දළගොත්, පුරවඩු, දළසළකුමර, කිත්සිරි, කසුප්තොට සහ ඈපා ලෙස ඔවුන් නම් ලද්දෝ ය. තවද, දැනට ශේෂ ව පවත්නා පැරණි ම පද්‍ය ග‍්‍රන්ථය සේ සැලකෙන දණ්ඞීන්ගේ කාව්‍ය දර්ශයට අනුව යමින් රචිත සියබස්ලකර හතරවන සේන (කි‍්‍ර.ව. 950-953) රජුගේ කෘතියක් සේ සලකනු ලැබේ. අනුරාධපුර පශ්චාත් සමයට අයත් සේ සැලකෙන භික්ෂූන්ගේ විනය පිළිබඳ රචිත ග‍්‍රන්ථයකි සිඛවළඳවිනිස. පාලි ධම්මපද්ට්ඨ කථාවේ පද්‍ය වර්ණනාවක් සේ රචිත ධම්පියාඅටුවාගැටපදය කිතුවසින් දහවන සියවසේ සිංහල භාෂා සාහිත්‍යය වටහා ගැන්මට උපකාරී වන ග‍්‍රන්ථයක් ලෙස සැලකේ. මෙය පස්වන කාශ්‍යප රජුගේ (කි‍්‍ර.ව. 914-923) නිර්මාණයක් සේ පිළිගැනුමට ලක් ව ඇත.

ගෘහ නිර්මාණ ශිල්පය

දිවයිනේ ගෘහ නිර්මාණ ශිල්පය ද පුළුල් කේෂත‍්‍රයක විසිර පවත්නා සන්දර්භයකි. විජය ඇතුළු උත්තර භාරතීය සංක‍්‍රමණික කණ්ඩායම මෙරටට පැමිණීමට පෙර මෙරට විසූ ජන කණ්ඩායම් සතුව සංස්කෘතික ගති ලක්ෂණ පැවතිය ද ඔවුන් සතුව වාස්තු විද්‍යාත්මක නිර්මාණ විශේෂයක් නොතිබිණැයි කලක් තිස්සේ මෙරට විද්වත් තුඩඟ රැව් දුන් පිළිවදනක් විය. එනම්, අනුරාධපුර යුගයේ මහින්දාගමනයට පෙර සමයේ වාස්තු විද්‍යාත්මක ශේෂමාත‍්‍රයන්හි ගති ලක්ෂණ නොමැති බැවින් ය. එහෙත් ලාංකීය වංශ කථාවේ මෙකී සමාජ මතවාදය අභියෝගයට ලක් කරමින් අද්්‍යතන පුරාවිද්‍යාත්මක පර්යේෂණ නවමු පැතිකඩක් විවරණය වෙමින් පවත්නා බව කිව යුතු ය. රත්නපුර දිස්තී‍්‍රක්කයේ උඩරංචමඩම නම් ගම්මානයේ 2009 වර්ෂයේ පුරාවිද්‍යාඥයන් පිරිසකගේ කැනීමක ප‍්‍රතිඵලයක් ලෙස පැරණි වරිච්චි නිවාසයක නටඹුන් සොයා ගැනීමට හැකියාව ලැබිණ. විද්‍යාත්මක විශ්ලේෂණයන්ට අනුව කි‍්‍රස්තු පූර්ව 1129 පමණ එනම් අදින් වසර 3150 කට ආසන්න කාලයක මෙම නිවාසය ඉදි කර ඇති බව පුරාවිදයාඥයන් තහවුරු කර ගෙන ඇත. මෙවන් පර්යේෂණ ගණනාවක්ම මෙම අවධියේ සිදුවන අතර ඉදිරි කාලයන්හි එහි නැවුම් තොරතුරු ද සමගින් කථා කිරීමට හැකි වනු ඇත.

මෙවන් පසුතලයන් මත අනුරාධපුර මුල් අවධියේ ක‍්‍රමික වාස්තු විද්‍යාත්මක නිර්මාණ ලක්ෂණයන් පෙරදැරි කොට ගත් දියුණු ගෘහ නිර්මාණ කලාවක් මෙරට ව්‍යාප්ත ව පැවති බව සඳහන් කළ යුතු ය. කි‍්‍රස්තු පූර්ව 3 වන සියවසේ මහින්දාගමනයත් සමඟ එකී නිර්මාණ ශෛලිය වඩාත් ඔප් නැවුණු බව ද සිහි කටයුතු ය. මෙලෙස වර්ධනය වූ ගෘහ නිර්මාණාංග අතර ගල්ලෙන්, ස්තූප, වාහල්කඩ, දොරටු, චේතියඝර, බෝධිඝර, ආසනඝර, උපෝසථඝර, පංචාවාස, ප‍්‍රතිමාඝර, ප‍්‍රධානඝර හෙවත් පියන්ගල් දානශාලා, සන්නිපාතශාලා, ජන්තාඝර හෙවත් උණුදිය ස්නාන පොකුණු, ආරෝග්‍ය ශාලා, රජ මාළිඟා, විහාර, ප‍්‍රභූ නිවාස, සාමාන්‍ය නිවාස, සුසානඝර ඈ වාස්තු විද්‍යාත්මක නිමවුම් දක්නට ලැබේ.

පණ්ඩකාභය රජතුමා අනුරාධපුර නගරය සැලසුම් සහගත නගරයක් ලෙස වර්ධනය කිරීමෙන් අනතුරුව දෙවන පෑ තිස් රජ දවස මහින්දාගමනයේ ප‍්‍රතිඵලයක් ලෙස ගෘහ නිර්මාණ කලාවේ අභිවර්ධනයක් සිදු වූ බව ඉහතින් පෙන්වා දුනිමු. රජුගේ ඇත්හල මෙන් ම කාළප‍්‍රාසාද පිරිවෙන බිහි වීමේ කි‍්‍රයාවලිය ද ඉතිහාසය පුරා දක්නට ලැබෙන්නකි. මිහින්තලය හා වෙස්සගිරියේ දක්නට ඇති ලෙන්හි කටාරයට පහළින් ඇති ලෙන් ලිපි අනුව මෙරට මුල් කාලවකවානුවේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා අරඹයා මෙකී ලෙන් පිළියෙළ කළ බව පිළිගත හැකි ය. මිනිස් වාසයට යෝග්‍ය අයුරින් සකසා ගත් මෙම ලෙන් කලාව ලක්දිව උතුරු ප‍්‍රදේශය හැර සෙසු පළාත්හි විකාශය වී පැවති අයුරු අනාවරණය වී ඇත. මෙරට බිහි වූ නිර්මාණ අතර විශේෂම අංගය ලෙස ස්තූපය හඳුන්වා දිය හැකිවාක් මෙන් ම එය මෙරට වාස්තු විද්‍යාව ලෝ පතල වීමට ද බෙහෙවින් බල පෑ කරුණකි. මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත මෙරට තනන ලද ප‍්‍රථම ස්තූපය ලෙස ථූපාරාමය සලකනු ලැබේ. මෙම ස්තූපය ගොඩනැගීම පිළිබඳ මහාවංශ ටීකාවේ තොරතුරු අන්තර්ගත ය. දෙවන පෑ තිස් රජුගේ පරපුරෙන් පැවත ආ යටාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජවරු රුහුණේ ස්තූප ගොඩ නැගූ බව කියැවේ. යටාල වෙහෙර තිස්ස මහාරාම චෛත්‍යය ඉන් ප‍්‍රධාන තැනක් ගනි. මුල්වරට දිවයින එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා (කි‍්‍ර.පූ. 161-137) තම කුන්තායුධය වසා මිරිසවැටි ස්තූපය ගොඩනැගී ය. අනතුරුව මහාථූපය නමින් හැඳින්වෙන රුවන්වැලි මහාසෑය ද කරවී ය. මෙම ස්තූප කර්මාන්ත පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංශය හා ථූපවංශයේ සඳහන් ය. දුටුගැමුණු යුගයෙන් පසු සිය ඥාති පුත‍්‍ර වලගම්බා රජ දවස ( කි‍්‍ර.පූ. 103 -77) අනුරාධපුර දක්ඛණ ථුපය හා අභයගිරි චෛත්‍යය ද කරවීය. අනුරාධපුර රාජධානි අවධියේ මෙන් ම මෙතෙක් ලක්දිව විශාලම ස්තූප කර්මාන්තය කිතු වසින් සිව්වන සියවසේ මහසෙන් රජු විසින් ජේතවනාරාම ස්තූපය ගොඩනැගීමෙන් ජනිත විය. මහාථුප ති‍්‍රත්වය සේ සැලකෙන රුවන්වැලිය, අභයගිරිය, ජේතවනාරාමය ද කි‍්‍රස්තු පූර්ව 3 වන සියවසේ සිට කි‍්‍රස්තු වර්ෂ 7 වන සියවස තෙක් මෙරට බිහි වූ ස්තූපයන් ද ඉන් පසු කාලයන්හි නිර්මාණය වූ ස්තූපයන් කාලානුරූප ව විවිධ ප‍්‍රතිසංස්කරණයන්ට භාජනය වී ඇති හෙයින් ඒවායෙහි මුල් ස්වරූප කවරාකාර ද යන්න සාහිත්‍යයික තොරතුරු මගින් පමණක් හඳුනාගත හැකි ය. මුල් කාලයෙහි පැවති ස්තූප නිර්මාණාංග වන හර්මිකා නමින් හැඳින්වෙන හතරැස් කොටුව, ඡත‍්‍රය, ඡත‍්‍ර දණ්ඩ, යූපය වැනි අංග කි‍්‍රස්තු වර්ෂ 7 වන සියවස තරම් අවධිය වන විට විවිධ වෙනස්කම්වලට ලක් ව වත්මන් අවධියේ දක්නට ලැබෙන කොත් කැරැුල්ල වැනි නිර්මාණාංග දක්වා විකාශය විය.

කි‍්‍රස්තු වර්ෂ 2 වන ශතවර්ෂයේ දී පමණ මෙරට ස්තූපකරණයට එක් වූ වාහල්කඩ ද විශේෂ අංගයකි. රුහුනේ හා ප‍්‍රධාන ස්තූප ති‍්‍රත්වයේ ද දක්නට ලැබෙන වාහල්කඩ

අංගයේ අව්‍යාජ ස්වරූපය මිහින්තලේ කණ්ඨක ෙචේතියෙන් දැකගත හැකි ය. ගලින් හා ගඩොලින් විවිධ කැටයම් පනේල සමගින් මෙම වාස්තවික අංගය පිළිබඳ මහාවංශයේ තොරතුරු දක්නට ඇත. අයක, ආදිමුඛ ආදී වශයෙන් ද මෙම නිර්මාණාංගය හැඳින්වෙන බව විද්වත් මතයයි. චේතියඝර හෙවත් වටදාගෙය, ථුපාරාමය බඳු කුඩා ස්තූප වටකොට කණු මත පිහිටුවන ලද කවාකාර වහලකින් යුතුව වටදාගේ නිර්මාණය වී තිබේ. වසභ රජු ( කි‍්‍ර.ව. 67-110) කරවූ ථූපාරාම වට දා ගෙය ද, ගෝඨාභය රජු (කි‍්‍ර.ව. 249-262) කර වූ අම්භස්තල චෛ්‍යයේ වට දා ගෙය ද, සිව්වන අග්බෝ රජුගේ (කි‍්‍ර.ව. 667-683) මැදිරිගිරය ද, හත්වන සියවසට අයත් තිරියායේ වට දාගෙය ද, ලංකාරාමයේ හා අත්තනගල්ලේ වට දා ගෙවල් ද ශෛලමය ටැම් යොදා නිර්මාණය කරන ලදැයි සලකනු ලබයි.

වට දා ගෙය (මෙම ඡායාරූපය https://en.wikipedia.org/ වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

බෝධිය වටා කරන ලද නිර්මාණය බෝධිඝර නම් විය. ශී‍්‍ර මහා බෝධිය වටා දෙවන පෑ තිස් රජු බෝධිඝරයක් කර වූ බව සඳහන් ය. සමාධි පිළිමය පිහිටි ස්ථානයේ බෝධිඝරයක් වූ බවට සලකුණු හඳුනා ගෙන ඇත. කරුණු එසේ වුවද හඳුනාගැනීමට තරම් හේතු වන බෝධිඝර කිසිවක නෂ්ඨාවශේෂ වත්මන දක්නට නොවේ. අංග සම්පූර්ණ බෝධිඝරයක එකම ස්මාරකය ලෙස කුරුණෑගල නිල්ලක්කගම බෝධිඝරය හඳුන්වා දිය හැකි ය. කිතු වසින් 8 වන සියවසට යටත් කළ හැකි මෙහි ශෛලමය ප‍්‍රාකාරය එහි සවි වූ කුළුණු මත වහල නිමවා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

බුදු පිළිමය නිමවීමට පෙර බුදුන් වහන්සේ සංකේතවත් වූයේ සිරිපතුල, වජ‍්‍රාසනය වැනි අංග මතිනි. උන්නතව කැටයම් කරන ලද සිරිපතුල සහිත ගල් පූවරු මෙන් ම විශාල ගල් ගල්පුවරු ආදී බෞද්ධයන් විසින් වැඳුම්පිඳුම් කිරීමට යොදා ගැනිණ. පසු කාලීන මෙම ආසන මැදි කොට ආසනඝර නම් අංගය නිර්මාණය කොට ඇත. අභයගිරියේ හා මඩකලපුවේ පුළුකුණාවේ කි‍්‍රස්තු වර්ෂ 7, 8 සියවසට පමණ යටත් කළ හැකි ආසනඝර දක්නට ලැබේ.

අනුරාධපුර මුල් අවධියේ මෙන් ම පශ්චාත් සමයේ නිරතුරු කතාබහට ලක් වන නිර්මාණාංගයක් ලෙස උපෝසථඝරය හඳුන්වා දිය හැකි ය. භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම සඳහා සාදවන ලද ගොඩනැඟිලි වශයෙන් මේවා හැඳින්වේ. දුටුගැමුණු රජුගේ ලෝවා මහාප‍්‍රාසාදය, අභයගිරියේ රත්නප‍්‍රාසාදය මේ සඳහා උදාහරණයන් ය. බොහෝ විහාරස්ථානයන්හි ගලින් හා ගඩොළින් බොරදම් සහිත පාදමක් මත තනා ඇති මෙම ගොඩනැඟිලි විශේෂය ශිලාලේඛනයන්හි පොහායකර යනුවෙන් හඳුන්වා ඇත.

ප‍්‍රධානඝර හෙවත් පියන්ගල අනුරාධපුර පශ්චාත් සමයට අයත් ගොඩනැඟිලි විශේෂයකි. ශිලා ලේඛනයන්හි පතනගල, පියන්ගල වශයෙන් හඳුන්වන මෙම ආරාම විශේෂය භාවනානුයෝගී භික්ෂූන් අරඹයා නගරයෙන් ඇතුළත නිසල පරිසරයක නිර්මාණය කොට ඇත. සෑම නිර්මාණයක්ම එක ස්වරූපයක් ම ගන්නා මෙම නිර්මාණ තුළ ස්වභාවික ගල් පුවරු මත කළ නිමවුම්, පොකුණු, චංකමන දක්නට ඇත. මෙහි ඇති විශේෂතාව වනුයේ මනහර කැටයමින් තොර නිර්මාණ පිහිටා තිබීමයි. එහෙත් කැටයමින් යුතු කැසිකිලි ගල් පිහිටුවා තිබීම විමසුමට ලක් කළ යුත්තකි.

භෝජන ශාලා හෙවත් දානශාලා නම් ගොඩනැගිලි විශේ්ෂයක් අනුරාධපුර යුගයේ දී භික්ෂූන් වහන්සේලා උදෙසා නිර්මාණය කොට තිබිණ. අනුරාධපුර මහාපාලිය එවැනි එකකි. ගලින් කළ විශාල ඔරු, කුඩා ඔරු සහිත මෙවැනි නිර්මාණ ගණනාවක් දැකිය හැකි ය. රුවන්වැලිය අසළ, අභයගිරිය, මිහින්තලේ මෙවැනි නිර්මාණ පිහිටා ඇත. චතුරස‍්‍රාකාර සැලැස්මකට අනුව නිමවන ලද මෙය මළු කිහිපයකින් යුතු ක‍්‍රමවත් ව ජල අපහරණ පද්ධති වලින් සමන්විත විශාල ඉඩකඩ සහිත නිර්මාණ විශේෂයකි.

අනුරාධපුර අභයගිරි විහාරයේ දැකගත හැකි නිර්මාණයක් – බරෝ ගේ මණ්ඩපය නමින් ප‍්‍රචලිතය (මෙම ඡායාරූපය http://lankapura.com වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

කිසියම් ආරාමයක වෙසෙන භික්ෂූන් වහන්සේලාට එනම් රැස්විය හැකි ශාලා විශේෂය සන්නිපාතශාලා නමින් හැඳින්වේ. අභයගිරියේ එවැනි සුවිසල් ශාලාවක් පිහිටා ඇත. එමෙන් ම අවුකන, ජේතවන දාගැබ අසළ මෙන් ම දිවයිනේ නොයෙක් තැන පිහිටුවා ඇති ගලින් කළ උළුවස්ස සහිත පඨීමාඝර ද විශේෂ ගෘහ නිර්මාණාංගයකි. යෝගී වූවන් සඳහා පිහිටුවා ඇති ආරෝග්‍ය ශාලා ද විශේෂ නිර්මාණ විශේෂයකි. අනුරාධපුර, මිහින්තලය, මැදිරිගිරිය මෙවැනි ආරෝග්‍ය ශාලා සඳහා නිදසුන් කිහිපයකි. මේ අසළ ඇති ගලින් කළ ඔරු විශේෂය බෙහෙත් ගැල්වීම සඳහා උපායෝගී කර ගෙන ඇත.

භික්ෂූන් වහනසේලාට අවශ්‍ය උණුසුම් ජලය හා තාපය ලබා ගත හැකි ගොඩනැගිලි විශේෂයක් ලෙස ජන්තාඝර හඳුනාගෙන ඇත. අනුරාධපුර මහමෙව්නාවේ වූ මෙබන්ඳක් පිළිබඳව මහාවංශයේ සඳහන් ය. අභයගිරිය, රිටිගල, අරංකැලේ මේ සඳහා නිදර්ශනයෝ ය. අනුරාධපුර ආශ‍්‍රමයන්හි දක්නට ලැබෙන අලංකාර කැටයමින් යුත් පොක්කරණී හෙවත් පොකුණු ගණනාවකි. භික්ෂූන් වහන්සේලාගේ මෙන් ම හුදු මහජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලනු වස් නිමවා ඇති පොකුණු අතර රන්මසු උයනේ පොකුණු, වෙස්සගිරිය, අභයගිරියේ ඇති පොකුණ, කුට්ටම් පොකුණ, යතුර පොකුණ ආදී සිය ගණනක් පොකුණු මගින් සුවදායී සිසිල් පරිසරයක් නිර්මාණය වීම ද දක්නට ලැබේ. ප‍්‍රධාන වැව් හා ජල මාතිකා මගින් සම්බන්ධ වී ඇති මෙම පොකුණු මනහර කැටයමින් අලංකෘතව නිමවා තිබීම ද විශේෂත්වයකි.

අනුරාධපුර ඇතුළු නුවර නටඹුන් වූ රජ මාළිඟා, සීගිරි කොටු පවුර සහිත මාළිඟා සංකීර්ණය, ප‍්‍රභූ නිවාස හා සාමාන්‍ය ජනයා සඳහා ගෘහ නිර්මාණයන් ද ඇතුළුව මෙවන්නකින් විස්තර කළ නොහැකි නිර්මාණ කලාවක් අනුරාධපුර යුගයේ ගොඩනඟා තිබූ බවට සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි ඔස්සේ හඳුනා ගත හැකි ය.

කලාව

ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සෞන්දර්යාත්මක චින්තනය ඈත අතීතයේ පටන් පැවැති බවට පුරාවිදු සාධක දෙස් දෙයි. දැනට කෙරී ඇති පර්යේෂණ අනුව බලංගොඩ සංස්කෘතිය දක්වා මෙම චින්තාව දිවෙන අතර එමගින් ඔවුන් සතු වූ කලාත්මක හැඟීම, සෞන්දර්යාත්මක විඥානය පිළිබඳ කිසියම් ඉඟියක් ලබා ගත හැකි ය. චිත‍්‍ර, මුර්ති, කැටයම් යනාදියෙන් අනූන වූ මෙහි ලොව ප‍්‍රස්තූත කාල සීමාවට අනුකූලව විස්තර කිරීම ඉහත අංගද්වය මෙන් ම දුෂ්කර වූවත්, මක්නිසාද යත් ප‍්‍රමාණාත්මකව ගිණිය නොහැකි අගනා නිමවුම් රැසක් ශී‍්‍ර ලාංකේය ප‍්‍රජාව සතු බැවිනි.

අනුරාධපුර යුගයේ ජනතා අධ්‍යාත්මය පිළිබිඹු කරනා චිත‍්‍ර මූර්ති කැටයම් හි සුසංයමය, සරලත්වය, අව්‍යාජත්වය, පශ්චාත් යුගයන්හි එබඳු නිර්මාණයන්ට වඩා උසස් තත්වයක පවත්නා බව විචාරක මතය වී ඇත. වංශකථා හි මෙන් ම පාලි අටුවාවන්හි ද චිත‍්‍ර ශිල්පීන් හා චිත‍්‍ර පිළිිබඳ සටහන් දැකිය හැකි ය. රුවන්වැලි සෑ ධාතු ගර්භයේ සිතුවම් පිළිබඳ මහාවංශයේ තොරතුරු ඇතුළත් ය. අම්බලන්තොට කරඹගල වන සෙනසුනේ ගුහාවක පෙර විසූ බුදුවරුන්ගේ බෝධිසත්ව අවස්ථා නිරූපණය කරන ලද චිත‍්‍ර පැවති බව බුදුගොස් හිමියන් විසුද්ධි මාර්ගයේ විස්තර කොට ඇත. දූමරක්ගල හෙවත් දිඹුලාගල, පුල්ලිගොඩ ගල් ගුහාව ආදී සිතුවම් මුල්කාලීන සිතුවම් ගණයට වැටේ. පුල්ලිගොඩ සිතුවම් කි‍්‍රස්තු වර්ෂ 5 වන සියවසට යටත් කළ හැකි බව විද්වතුන් අදහස් ඉදිරිපත් කර ඇත. හිඳගල සිතුවම් සම්ප‍්‍රදාය අවධි දෙකකට ගැනෙන නමුදු ඉහත ගල් ලෙන අභ්‍යන්තරයේ ඇඳි සිතුවම් කිතුවසින් පස්වන සියවසට අයත් කළ හැකි ය. බුදු රූ වෙනත් ස්ථානයන්හි නොදක්නා පරිද්දෙන් ඇඳ තිබීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. දේවතා රූප, බ‍්‍රහ්මාරාධනාව වැනි අවස්ථා කදිමට මෙහි වර්ණිත ය. සීගිරි සිතුවම් ලාංකේය වංශකථාව තුළ නොමැකෙන සටහනක් තබා ඇති සිතුවම් සමුදායක් බව කිවමනා ය. මෙහි ඇති ලලනා රූප (දැනට ශේෂව පවත්නේ විසි එකක් පමණි.) පිළිබඳව විද්වතුන් විවිධ මතවාද පළකර තිබේ. ඒ අතර විදුලිය හා වළාකුළු සංකේතය, බිසවුන් හා කුමාරිකාවන්, සේවිකාවන්, දිව්‍ය අප්සරාවන්, සම කාලීන කාන්තාවන් ආදී වශයෙන් අදහස් ඉදිරිපත් කර ඇත. මෙහි ඇති සිතුවම් ලක්ෂණ අතර සිහිනිඟ, පුන් පියයුරු, කෝමල අත් පා, වර්ණිත ඇඳුම්, සියුම් රේඛා, අඳුර හා එළිය දැක්වීම කෙරෙහි වූ සැලකිල්ල ආදි නිර්මාණ ලක්ෂණයක් අනුව මෙම සිතුවම් අද්විතීය චිත‍්‍ර ගොන්නක් බව විචාරක මතයයි. මෙය කිතුවසින් 5 වන සියවසේ කාශ්‍යප රජුගේ (කි‍්‍ර.ව. 477 – 495) නිර්මාණයක් ලෙස බහුතර ජනයාගේ පිළිගැනුමට ලක්ව තිබේ.

බුදු පිළිමය අනුරාධපුර යුගයේ විශිෂ්ඨතම මුර්තිය ලෙස කලා විචාරක ඇසට ලක් වී ඇත. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාගේ ස්වභාවය නිරූපණය කිරීමට කලාකරුවා මාධ්‍ය කරගනුයේ බුදු පිළිමයයි. මහා කරුණාවත්, මහා ප‍්‍රඥාවත් පිළිඹිබු කරන අයුරින් නිරූපිත අයුරින් මෙම කලාව කවදා කෙලෙස ආරම්භ වූවා දැයි තවමත් විද්වත් මතයට ලක් වෙමින් පවතී. වැඩි දෙනෙකුගේ පිළිගැනීමට නම් කි‍්‍රස්තු වර්ෂ 1 වන සියවසේ කණිෂ්ක රජු දවස ඉන්දියාවේ දී සිදු වූ බවයි. බුදුන් වහන්සේ වැනි උතුමකු මිනිස් රුවින් දැක්වීම නුසුදුසු යැයි ඔවුන් සිතන්නට ඇත. එබැවින් මේ සඳහා මුල් කාලීනව ඔවුන් භාවිත කළේ සංකේතයන් ය. සාංචි, භාර්හුත් වැනි තැන්වල මේ සඳහා නිදසුන් දක්නට ඇත.

ලක්දිව පිළිම ලොව ගත් කළ හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම හා ඉතා විරල ලෙස සක්මන් පිළිම ද වශයෙන් වර්ග සතරකි. මෙහි නන්වැදෑරුම් මුද්‍රා, ආසන හා ශෛලින් ඇතුළත් විකාශන අවස්ථා නිරූපිත ය. අනුරාධපුර මහඉලුප්පල්ලමේ කිරිගරුඩ බුදු පිළිමය මෙරටින් සොයාගත් පැරණිතම පිළිමය ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව විශාල ප‍්‍රමාණයේ මෙන් ම මධ්‍යම කුඩා පිළිම රාශියක් දිවයිනේ නන් දෙසින් සොයා ගෙන ඇත. ධාතුසේන රජු (කි‍්‍ර.ව. 465-473) කාලසේළ සත්ථු හෙවත් කළුගල් පිළිමයක් කර වූ බව චූලවංශයේ සඳහන් ය. මෙය අවුකන පිළිමය සේ සලකනු ලැබේ. හිටි පිළිම සියල්ලම පාහේ අවුකන පිළිමයේ ශරිර ලක්ෂණ හා චීවර ලක්ෂණ පිළිඹිබු කරන බැවින් අනුරාධපුර යුගය හිටි පිළිමවල ස්වරූපය අවබෝධ කර ගැන්මට මෙය පිටුවහලක් වනු ඇත. අභය මුද්‍රාවෙන් නිරූපිත අමරාවති කලා ලක්ෂණ පෙන්නුම් කරන මෙහි ඒකාංශ නිරූපණය සහියත තනි රැල්ලෙන් යුත් සමාන්තරව ඉහළට නැගෙන සිවුරු රැළි, කලා ශිල්පියාගේ නිපුණත්වය ස්ඵුථ කරවයි. කෙස් රැළි, උර්ණ රෝමය, රේඛාවකින් සටහන් කර ඇති දෙනෙත්, තරමක් විශාල දෙතොල්, දිගටි කණ් පෙති හා පද්මාසනාරූඪව ආබද්ධව, පුර්ණ උන්නතව සේ නිමවා ඇති මේ පිළිමය කිතුවසින් 5 වන සියවසට යටත් කර ඇත. මීට අමතරව අනුරාධපුර සැස්සේරුව, මොනරාගල මාළිගාවිල, වැල්ලවාය බුදුරුවගල වැනි ස්ථානයන්හි විවිධ ශෛලීන්, හැඩතල නිරූපිත හිටි පිළිම ගණනාවක් හඳුනාගෙන ඇත. එමෙන්ම, වේරගල තිස්සමහාරාමය ආදී ප‍්‍රදේශවල ලෝහයෙන් කළ හිටි පිළිම රාශියක් ද සොයාගෙන ඇත.

හිඳිපිළිම අනුරාධපුර යුගයේ බහුල ලෙස ව්‍යාප්ත වු පිළිම කලාවයි. අනුරාධපුර අභයගිරියේ තනි කළුගලින් නිමවා ඇති සමාධි බුද්ධ ප‍්‍රතිමාව දෙස්විදෙස් කලා විචාරකයින්ගේ විචාරයට බඳුන් වූ වෙනත් පිළිමයක් නොමැති තරම් ය. සිංහල ප‍්‍රතිමා ශිල්පීන්ගේ නිවහල් බව ප‍්‍රකට මෙහි ධ්‍යාන මුද්‍රාව වීරාසනය නිරූපිත ය. දේවානම්පියතිස්ස රජු කර වූ උරුසීලා පටිමු නම් මහාවංශයේ සඳහන් ප‍්‍රතිමාව මෙය විය හැකි බව ඇතැම් විචාරකයෝ සලකති. හිඳි පිළිම අතර කි‍්‍රස්තු වර්ෂ 475 වන සියවසට පමණ අයත් විය හැකි යැයි විශ්වාස කරන තොළුවිල පිළිමය ද ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. පන්කුලියේ පිළිමය අභයගිරි ආශ‍්‍රමයේ පිහිටුවා ඇති දෙවැනි සමාධි පිළිමය ආදිය මේ යුගයේ හිඳි පිළිම අතර ශ්‍රේෂ්ඨ නිර්මාණ වෙති. මේවාහි විවිධ මුද්‍රා, ආසන, චීවර පොරෝනා ක‍්‍රම, පීඨය, කෙහෙරැළි, මුහුණේ ඉරියව් ආදි කලා ලක්ෂණ ගණනාවකි. මෙකී සියල්ල විස්තරකරණයට මෙහි ඉඩහසර නොවේ.

බෝසත් පිළිම කලාව ද අනුරාධපුර යුගයේ ප‍්‍රකට ලක්ෂණයකි. බුදුරුවගල පර්වතයේ මංජු ශී‍්‍ර හා අවලෝකිතේශ්වර බෝසත්වරුන්ගේ පිළිම නෙලා ඇත. දඹේගොඩ සෙල්මුවා බෝසත් පිළිමය (කි‍්‍ර.ව. 7 -8 සියවස්) බෞද්ධ ලෝකයේ විශාලතම සෙල්මුවා බෝසත් පිළිමය ලෙස විචාරක මතයයි. යාල අභයභූමියෙන් හමු වූ හුණුගලින් නිර්මිත බෝසත් ප‍්‍රතිමාව, යඨාල විහාරය, අම්බලන්තොට ආදි ප‍්‍රදේශවලින් ද කැඞීබිඳී ගිය සෙල්මුවා පිළිම හමු වී තිබේ. වෙහෙරගලින් හමු වූ කි‍්‍රස්තු වර්ෂ 6 සියවසට පමණ අයත් විය හැකි ලෝහමුවා බෝසත් පිළිමය අවලෝකිතේශ්වර ගණයට වැටෙන අතර මෙතෙක් සොයා ගෙන ඇති මෙම වර්ගයේ විශිෂ්ඨතම පිළිමයක් සේ මෙය ද සලකනු ලබයි.

සඳකඩ පහණ නම් විශිෂ්ට කලා නිර්මාණය මෙම යුගයේ අද්විතීය නිර්මාණ අතර ඉහළ තැනක් ගනී. දුටුගැමුණු රජු දවස සෝනුත්තර තෙරුන් රුවන්වැලිසෑයෙහි නිදන් කිරීමට ධාතු සොයා නා ලොවට වැඩි අවස්ථාවේ ලක්දිව ඇති සියලු මැණික් සඳකඩ පහන තරම් නොවටින්නේ යැයි නා රජු කළ ප‍්‍රකාශයත් මහාවංශයේ සඳහන් වීමෙන් මෙකී කලාකෘතිය කොතරම් අගනේ ද යන්න වටහා ගත හැකි ය. මුල්ම සඳකඩ පහන කැටයමින් තොර වූවකි. පියගැට පාමුල පාපිස්නක් ලෙස යෙදූ අර්ධ කවාකාර ගල් පුවරුවට කිසියම් හැඩයක් ලබා දීම සඳහා කලාකරුවන් ගත් උත්සාහය හේතු කොටගෙන උසස් කලා නිර්මාණයන් ලෙස සඳකඩ පහන බිහි විය. මොහෙන්ජෝදාරෝ හරප්පා සංස්කෘතියේ පටන් නාගර්ජුන, අමරාවතී සම්ප‍්‍රදායන් තුළ ද දක්නට ලැබෙන මෙකී නිර්මාණයේ විශිෂ්ඨතම නිමවුම් ලකුණු ශී‍්‍ර ලංකාවේ බිහි වී ඇතැයි විද්වත් මතය වී ඇත. මෙහි ඇති කැටයම් පිළිබඳ වාද විවාද ගණනාවක් විද්වතුන් අතර පවත්නා බව ද සැලකිය යුතු ය. යුගයෙන් යුගය විවිධ කැටයම් රටා, හැඩතල එකතු වූ සඳකඩ පහනෙහි විශිෂ්ටතම අවධිය කි‍්‍රස්තු වර්ෂ 7-8 සියවස් අතර වී යැයි හඳුන්වන ගොඩනැඟිල්ල පාමුළ ඇති සඳකඩ පහන පරිපූර්ණ කලා නිර්මාණය වශයෙන් සැලකේ.

කළුගල් මාධ්‍යයෙන් මෙන් ම මුල්කාලීනව ගඩොලින් ද (දඹුල්ල සෝමාවතිය අසළ) නිමවා ඇති කොරවක්ගල නැමැති කලා කෘතිය පඩිපෙළක් දෙපසින් පිහිටි අත්වැටක් ලෙස පෙන්වා දිය හැකි ය. නාම සම්භවය අනුව මෙහි කර යනු අතස එකී පදනම මත කරවක ගල – කොරවක් ගල යනුවෙන් ව්‍යවහාරයට පැමිණෙන්නට ඇතැයි සමහරු අදහස් දක්වති. ඉන් පියගැටපෙළට ශක්තියත්, දෙ පස හිස් බව මැකී ගොස් අලංකාරය ඇති වීමත් සිදු වී ඇත. සෑම යුගයකම කොරවක් ගලෙහි සාම්‍යයක් දැකිය හැකි නමුදු එහි කැටයම් විවිධ යුගයන්හිදි විවිධ වෙනස්කම්වලට භාජනය විය. මකර රුව වැඩි වශයෙන් දක්නා නමුදු වෙනත් කැටයම් ද පසු කාලීනව ඇති විය. රත්නප‍්‍රාසාදය අසළ සියුම් මටසිළුටු කැටයමින් යුත් කොරවක්ගල් ද්වයකි. තොළුවිල ආරාම භූමිය, රුවන්වැලි සෑ අසළ සංඝාරාමයෙහි කොරවක්ගල් විශේෂ නිර්මාණයෝ වෙති.

අනුරාධපුර අවධියේ දියුණු වූ තවත් කලා මාධ්‍යයක් ලෙස වාමන රූප පෙන්වා දිය හැකිය. කි‍්‍රස්තු වර්ෂ 2 – 3 අයත් සේ සැලකෙන මිහින්තලේ කණ්ඨක චේතියේ නැගෙනහිර වාහල්කඩයේ අඟුටුමිටි රුප පෙළ විශිෂ්ට නිමවුමකි. මෙවන් වාමන රූප පසු කාලීනව ශිල්පීන්ට පි‍්‍රයමනාප වු සැරසිලි මාධ්‍යයක් බවට පත්ව තිබේ. පූජනීය ගොඩනැගිලි කුඵණු හිස්මත, පියගැට පෙළ ඉදිරිපස, උසුළුවිසුළු පාමින්, දෑතින් බර දරා, නෙරාගිය කුසින් යුත් මෙකී වාමන රූප අතිශයින් පි‍්‍රයජනක ය. අනුරාධපුර ථූපාරමයේ, රුවන්වැලිය වාහල්කඩ රාමුවල, ඉසුරුමුණියේ විශිෂ්ට නිමවුම් දක්නට ලැබේ. අනුරාධපුර අභයගිරියේ සංඛ – පද්ම නිධි රූ වශයෙන් පෙළ ගැසී සිටින්නේ ද මෙකී වාමන රූපයන්ම ය. හිසෙහි ඇති සංඛ හා පද්ම විලාසය පදනම් කරගෙන මෙකී නාමකරණය පැමිණ ඇත.

දෙව් – මිනිස් මූර්ති කලාව ද අනුරාධපුර යුගයේ පිරිපුන් කලා මාධ්‍යයකි. අභයගිරිය, දක්ෂිණ ථූපය, ජේතවනාරාමය යන ස්තූප වාහල්කඩ කුළුණු මූණත්හි සප්ත රත්නයෙන් යුත් චක‍්‍රවර්ති රූප හා දේවරූප දක්නට ලැබේ. රූප මඳක් මතුවන සේ නෙළා ඇති මෙම මුර්තිවල දක්නට ලැබෙන සුමට මටසිලිටු අඟපසඟ හා සුලලිත ඉරියව් පිළිබඳ සැලකිලිමත් වන විට කි‍්‍රස්තු වර්ෂයෙන් සමාරම්භක අවධියේ පටන් මෙරට ශිල්පීන් මිනිස් අංගෝපාංග පිළිබඳ මනා නිපුණත්වයක් ලබා සිටි පිරිසක් බව මොනවට පැහැදිලි වන කරුණකි.

ඉසුරුමුනි විහාරය (මෙම ඡායාරූපය http://www.jallytours.com වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

ඉසුරුමුණි පෙම් යුවල වශයෙන් හදුන්වන මිථුන රූපය කි‍්‍රස්තු වර්ෂ 4 වන සියවස තරම් ඈත යුගයක නිමවන ලද විශිෂ්ට කැටයමක් ලෙස විචාරක මතයට ලක්ව ඇත. මෙම අර්ධ උන්නත කැටයම පිළිිබඳ මතවාද බොහෝ ය. ශිව, පාර්වතී, සිදුහත් යශෝදරා, මංජු ශී‍්‍ර බෝධිසත්වයන් හා පත්තිනි නිරූපණය, සාලිය අශෝකමාලා, සෙබළකු හා බිරිඳ ආදී වශයෙන් මතවාද ගණනාවකි. පුද්ගල නාම කෙසේ වුවද කලාකෘතියෙන් මුර්තිමත් වන ගති ලක්ෂණ අනුව මිනිස් අඟපසග පිළිබඳ මනා නිපුණත්වයකින් යුත් කලාකරුවෙකුගේ අපූරු සුසංගත කලා නිර්මාණයක් සේ මෙය සැලකිය හැකි ය.

කි‍්‍රස්තු වර්ෂ 8 වන සියවසට අයත් රන්වාසල නැමැති මුර්තිය ඉසුරුමුණි බිමෙහි ඇති තවත් විශිෂ්ට නිමවුමකි. දුටුගැමුණු රජ පවුල මෙයින් නිරූපණය වන්නේ යැයි සෙනරත් පරණවිතානයන් අදහස් දක්වන අතර මෙහි මානව රූප ගණනින් පහකි. වට රූප ගැඹුරට නෙලා ඇති මෙහි මහාරාජ ලීලාවෙන් යුත් රජ රුව සිත්ගන්නා සුළු නිමවුමකි. රජු, බිසව, සාලිය, අශෝකමාලා හා පරිවාර ස්ති‍්‍රයක වශයෙන් මෙහි රූකම් විමසුමට ලක්ව ඇත. මෙය ද අනුරාධපුර මැද භාගයෙහි ප‍්‍රතිභා පූර්ණ කලා ශිල්පියෙකු අතින් නිමවුණු අපූරු නිමවුමක් සේ සැලකිය හැකි ය.

ඉසුරුමුණි නෙළුම් පොකුණෙහි ඇත් රූ පොකුණට බැස දියකෙළි පාන ඇතුන් ගේ විවිධ ඉරියව් කදිමට නිරූපණය කර ඇති මුර්තියෙකි. පොකුණේ ජල මට්ටමට ඉහළින් මෙම රූකම් නිමවා තිබීමෙන් කලාකරුවා තම නිර්මාණය පිහිටුවන ස්ථානය මත කොතරම් දුරට අනුරූප විය යුතු ද යන්න කදිමට පසක් කර දී ඇත. සොබාදහමේ විශිෂ්ඨත්වය සමගින් චලනය, රිද්මය, ති‍්‍රමානශිලිත්වය හා රමණියත්වය මනාව ගොනු කරමින් නිමවා ඇති මෙම තලයට කි‍්‍රස්තු වර්ෂ 4 වන සියවසට අයත් විය හැකි පරණවිතානයන් පෙන්වා දී ඇත.

මිනිසා සහ අශ්ව හිස මුර්තිය ද දෙස් විදෙස් විචාරකයන්ගේ නොමඳ අවධානයට ලක් වූ ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයකි. විවිධ මතවාදයන්ට ලක් ව ඇති මෙහි අදහස් අතර කපිල සෘෂිවරයා, විදුලිය හා වළාකුළු, සිදුහත් – කන්ථක කථා පුවත ද, දුටු ගැමුණු රජු තම අසු ලිහා සතුරා දෙස නෙත් හෙළා සිටීම, ජනතාව දෙස මහා කරුණාවෙන් බලා සිටීම වැනි අදහස් ගොන්නකි. මහාරාජ ලීලාසන නමින් හඳුන්වන ඉරියව්ව මෙයින් නිරූපණය වන බව ද පිළිගැනේ. මුහුණේ දිගැටි හැඩය, නාසය, දෙතොල්, කෙස්වැටිය සේ ම ඊට මඳක් ඉහළින් නෙලා ඇති අශ්ව රූපය ද විශිෂ්ට නිමවුමකි. මීට අමතරව සම කාලීන වාස්තු විද්‍යාත්මක හා කලාත්මක නිමවුන් අතර ඇත්, අස්, ගව, සිංහ, මකර රූ කලා මෙන් ම නෙලුම් පත්, මල් සැරසිලි හා ගණ රූ පන්තීන්ගෙන් මොනවට සරසන ලද කලා නිර්මාණ රැසකින් අනුරාධපුර යුගයේ කලාව ආඪ්‍යයව පැවැති බව මෙමගින් පෙන්වා දිය හැකි ය.

ඉහත රචනයෙන් පෙන්වා දුන් පරිදි සම කාලීන යුගයේ බුද්ධිමය උරුමය වෙනුවෙන් සිහල ජනයා කළ උදාරතර සාහිත්‍යයික සේවාවන් තිඹිරිගෙයි සිට සුසානය දක්වා ජනී ජන අවශ්‍යතා සපුරාලනු වස් නිර්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ සමුදායන්, අල්ප උන්නත, අර්ධ උන්නත, පූර්ණ උන්නත, වශයෙන් නිර්මාණශීලි කලාකෘති තුළින් කලාත්මක හැඟීම් ජනිත කිරලීමට අතීත මානවයා ගත් උත්සාහය සුළුපටු නොවේ. එහෙයින් අනුරාධපුර රාජධානි සමයේ බිහිකරන ලද සාහිත්‍යය, ගෘහ නිර්මාණය, චිත‍්‍ර, මුර්ති, කැටයම් ඈ කලාව ජාතියේ අධ්‍යාත්මය හා අනන්‍යතාව පිළිඹිබු කරනු ලබන නිමවුම් ලෙස පෙන්වා දිය හැකි ය.

ශාසනෝදය ශාස්තී‍්‍රය සංග‍්‍රහය, මංගල කලාපය 2016  ශී‍්‍ර ශාසනෝදය මහ පිරිවෙන, මහ/අලපලාවල හන්දෙස්ස, (264-281 පිටු).

---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2017.12.18 වැනි දින පළමු වරට www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
---------------------------------------------------------------------------------

පැරණි සිංහල නාවික හමුදාව

එච්.එම්. අයි. හේරත්

බාහිර කථිකාචාර්ය, ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය.

ඉසුරු හේරත්

පුරාතනයේ සිට වර්තමානය දක්වා කාල පරිච්ෙඡ්දය තුළ ලෝකයේ බිහි වූ රෝමන්වරු, ග‍්‍රීක්වරු, පර්සියන්වරු, ෆිනිෂියන්වරු, චීනවරු, ඉන්දියන්වරු, අරාබිවරු, පෘතුගීසිවරු, බ්‍රිතාන්‍යවරු වැනි පෙර අපර දෙදිග ජාතින් සතුව ශක්තිමත් නාවික හමුදා පැවති බවට සාධක ඇත. එසේම ග‍්‍රීක්වරු සහ පර්සියන්වරු අතර පැණ නැගුණු සැලමිස් සටන, නැපෝලියන් (ප්‍රංශ) සහ නෙල්සන් (බි‍්‍රතාන්‍ය) අතර පැණ නැගුණු ට‍්‍ර‍්‍රැෆල්ගාර් නාවික සටන, රෝමන්වරු සහ ෆිනීෂියන්වරු අතර ඇතිවුණු පියුනික් යුද්ධය වැනි අතිශය රණකාමී නාවික යුද්ධ වලින් ලෝක සංග‍්‍රාම ඉතිහාසය වර්ණවත් වී ඇත. එහෙත් පැරණි සිංහලයන් සතුව ද පැරණි නාවික හමුදාවක් පැවති බව ඔබ දන්නවා ද? සැබවින්ම අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ෙඡ්දය තුළ පුරාතන ඉන්දියන් සාගරයේ වරින්වර ඇති වුණු දේශපාලන චල්‍යතාවලට ගැලපෙන පරිදි නිර්මාණය වුණු ශක්තිමත් සිංහල නාවික හමුදාවක් මෙරට පැවති බවට සාධක ඇත. එකී සාධක ලැබෙන්නේ මහාවංශය, සම්මෝහවිනෝදනිය, නිකාය සංග‍්‍රහය, පැරකුම්බා සිරිත, රාජාවලිය, ක්වේරෝස්ගේ වාර්තා, බැලදියස්ගේ වාර්තා වැනි ප‍්‍රාථමික මූලාශ‍්‍රයවලින් මෙන්ම විල්හෙලම් ගයිගර්, ඉන්ද්‍රකීර්ති සිරිවීර, සනත් සිල්වා, ටී.ජී. කුලතුංග වැනි නූතන විද්වතුන්ගේ පර්යේෂණ මඟිනි. පොදුවේ පුරාතන ලංකාවේ පමණක් නොව ලෝකයේ නාව්ක හමුදාවකින් ඉටු කෙරුණු කාර්යයභාරයන් මෙලෙස ඉදිරිපත් කළ හැකි ය.

  • සතුරු නාවික යාත‍්‍රා සමඟ මුහුදේ දී මුහුණට මුහුණ ලා සටන් කිරීම
  • මුහුදු කොල්ලකරුවන් පලවා හරිමින් වෙළඳ නැව් ආරක්ෂා කිරීම
  • මිත‍්‍ර පාර්ශවීය රාජධානිවල ආරක්ෂාවට ආධාරක සේනා යැවීම
  • දීර්ඝ කාලීන යුද්ධයකට අත්‍යවශ්‍යවන අතිරේක සේනා, ආහාරපාන, වෛද්‍ය පහසුකම්, අවි ආයුධ ප‍්‍රවාහණය කිරීම
  • සාධාරණ හොතු මත විදේශ රාජ්‍යයන් ආක‍්‍රමණය කිරීම

පුරාතන ලංකාවේ ප‍්‍රථම වරට නාවික හමුදාවක් බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ කි‍්‍රස්තු වර්ෂ 5 සියවසේ රජකල මුගලන් රජතුමාට ය. හෙතෙම නාවික හමුදාවක් තනා ලංකාව අවට මුහුදු කලාපය ආරක්ෂා ‌කළේ ය. කි‍්‍රස්තු වර්ෂ 6 පාලනයට පත් අබහරණ සලමේවන් හෙවත් සිලාකාල රජතුමා ද ස්වකීය පුත‍්‍රයාට මලයරාජ තනතුරු දී ලංකාව අවට සමුද්‍රාරක්ෂාවට පත් කළේ ය. මීට අමතර ව කි‍්‍රස්තු වර්ෂ 8 සියවසේ දෙ වැනි සේන රජතුමා ද, කුට්ඨක නම් සිංහල සෙනවියකුගේ නායකත්වය යටතේ නාවික යාත‍්‍රාවල නැගී සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත. ඒ පෙර ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කළ ශ‍්‍රී මාර ශ‍්‍රී වල්ලභ නම් රණකාමී පාලකයෙකුට එරෙහිව ය. පාණ්ඩ්‍ය දේශය ආක‍්‍රමණය කළ මෙම සිංහල සේනාව ශ‍්‍රී මාර ශ‍්‍රී වල්ලභ පරාජයකර විශාල ධනයක් මෙරටට ගෙන ආවේය. ‌කි‍්‍රස්තු වර්ෂ 10 සියවසේ පස්වැනි කාශ්‍යප රජු ද චෝල දේශයට එරෙහිව පාණ්ඩ්‍ය රජුට ආධාර පිණිස සක්ක නම් සෙනවියෙකුගේ මූලිකත්වය යටතේ සේනාවත් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත. කි‍්‍රස්තු වර්ෂ 11 සියවසේ රජකල පළමු වැනි විජයබාහු රජු ද චෝල දේශය ආක‍්‍රමණය කිරීම සඳහා නාවික සේනාවක් යැවිමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. එහෙත් පැරකුම්බා රජුට පෙර රජ කළ, විජයබාහු (කි‍්‍ර.ව. 1055 – 1110) කල ලංකාව හා බුරුමය අතර දේශපාලන, සංස්කෘතික හා ආර්ථික සබඳතා අලුත් වු අවධියක් විය. නමුත් පැරකුම්බා රජු කල බුරුමයේ රජ පැමිණි “අලවංසිතු” නම් රජු කිසියම් හේතුවක් නිසා බුරුම වෙරළට එන සිංහල වෙළෙදුන්ට නොයෙකුත් අඩත්තෙට්ටම් කළේ ය. හෙතෙම සිංහල වෙළෙදුන්ගේ ධනය රාජසන්තක කළේ ය. ඉන් නොනැවතුන රජු කාම්බෝජය බලා ගිය සිංහල කුමාරිකාවක ඇතුලු පිරිසක් සිරගත කළේ ය.කෝපයට පත් පැරකුම්බා රජු බුරුමය යටත් කර ගැනිමට පිඹුරුපත් සැකසිය. ඒ අනුව නැගෙනහිර වෙරළේ කුච්චවෙලිය නම් වරායේ අවශ්‍යය නැව් තනවා එවා ආක‍්‍රමණවල දි අත්‍යවශ්‍ය අවිආයුධ, ඖෂධ හා සහල් ගබඩා කළේ ය. අනතුරුව පුහුණු නාවික හමුදාවක් තනවා බුරුම ආක‍්‍රමණය මෙහෙය වීමට කිත්ති නුවරගිරි හා දමිලාධිකාර ආදිත්‍ය යන සෙනෙවියන්ට භාර කළේ ය. නාවික සේනාව බුරුමය බලා යාත‍්‍රා කළ අතර අතර මඟ දි පිරිස කාක දිවයින් නම් දුපත් පෙලක් ( අන්දමන් හා නිකොබර් දුපත් විය හැකි ය) අල්ලා ගත්හ.

මාසයක ගමනින් පසුව නුවරගිරි සෙනවි ප‍්‍රමුඛ සිංහල සේනා බුරුමයේ කුසුම් තොටට ගොඩ බැස්සහ. භුමියට ගොඩබට සිංහල සේනාව ගම්, නියම්ගම්, නගර ගිනි තබමින් බුරුම අගනුවර වු කුසුම් නුවරට කඩා වැද නගරය කොල්ලකා අලවංසිතු රජු මරා දැමි ය. මේ අතර ආදිත්‍ය සෙනෙවි ද සිය සේනාව කැටුව “පප්ථාල” නම් තොටින් බැස උක්කම් නම් නගරය අල්ලා ගත් බව චුලවංශය විස්තර කරයි. පසුව බුරුම ථේරවාදි හිමිවරුන්ගේ ඉල්ලීම මත සිංහල සේනාව ආපසු මෙරටට පැමිණියේ ය. සිංහලයන්ගේ මෙකි බුරුම ආක‍්‍රමණය බුරුම මුලාශ‍්‍රය වල නැත. නමුත් චූලවංශයේ මෙය සවිස්තරව දක්වා ඇත. තව ද බුරුම ජයග‍්‍රහනය වෙනුවෙන් පැරකුම්බා රජු විසින් කිත්ති නුවරගිරි සෙනෙවියාට ප‍්‍රදානය කල ගම්වර පිළිබඳව සඳහන් කෑගල්ල දෙවනගල ශිලා ලිපියෙන්ද මේ ආක‍්‍රමණය සනාථ වේ. මහාචාර්ය එස්. පරණවිතාන මහතා ද ,මහාචාර්ය ඇල්. බෂාම් මහතා ද පැරකුම්බා රජුගේ බුරුම ආක‍්‍රමණය පිළිගනි. මීට අමතරව පරාක‍්‍රමබාහු රජු විසින් චෝලයන්ට විරුද්ධව පාණ්ඩ්‍ය දේශය ආරක්ෂා කිරීම සඳහා ලංකපුර, ජගත් විජය යන සෙන්පතිවරු යටතේ නාවික හමුදාවක් යවා ඇත. නිකාය සංග‍්‍රහය මෙම සේනාව හඳුන්වා දී ඇත්තේ නැවැති සෙනඟ නිමිනි. මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ බුරුම, චෝල, පාණ්ඩ්‍යවල සිදුකළ දිග් විජයන්ගෙන් පසුව ශ‍්‍රි ලාංකිකයන් සිදුකළ විදේශ නාවික ආක‍්‍රමණයක හෝඩුවාවක් ලැබෙන්නේ කීර්ති ශ‍්‍රි නිශ්ශංක මල්ල රජු (ක‍්‍රි.ව. 1187 -1196) දවස ය. ඔහුගේ ගල්පොත ශිලාලිපියට අනුව තමා පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජ්‍යන් යටත් කර ගත් බවත්, රාමේෂ්වරම් දේවාල භුමියේ සිටිමින නාට්‍ය බලමින් හා ගී රස විදිමින් මාස තුනක් සතුරන්ට අභියෝග කරමින් සිටි බවට වර්ණනයක් කර ඇත. කලක් යන තුරු ෙම් නිශ්ශංක මල්ලයන්ගේ දකුණු ඉන්දීය ආක‍්‍රමණය අතිශයෝක්තියක් ලෙස සැලකිනි. නමුත් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තෙමින්තුව (කි‍්‍ර.ව. 1936 – 1945) වර්ෂවල රාමේෂ්වරමේ සිදුකල කැනිම් වලදි නිශ්ශංකමල්ල රජු පිහිටවු ශිලාලිපියක් හමු වී ඇත. එහි අන්තර්ගතව ඇත්තේ නිශ්ශංකේශ්වර නම් දේවාලයක් කරවා එයට ගම් බිම් ප‍්‍රදානය කල වග සඳහන්ව ඇත. චෝල, පාණ්ඩ්‍ය දේශ ආක‍්‍රමණය කල වග සඳහන්ව නැතත් අඩුම තරමේ මේ සිංහල රජු ස්වකිය නාවික සේනා හරහා රාමේෂ්වරම අවට වෙරළබඩ කලාපය සිය වසඟයේ තබා ගත් බව නිගමනය කළ හැකි ය.

සිංහල රජ දරුවෙකු සිදුකළ තවත් විදේශ නාවික වික‍්‍රමයක තොරතුරක් ලැබෙන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාමේෂ්වරම් ආක‍්‍රමණයෙන් අවුරුදු 269 පසුව ය. ඒ කි‍්‍රස්තු වර්ෂ 15 සිංහලය අවසාන වරට එක්සේසත් කල VI පරාක‍්‍රමබාහු රජු කල ය. මේ රජු කල පුත්තලම ප‍්‍රදේශයේ අනවසරෙන් මුතු කිමිදවමින් සිටි විජයනගර අධිරාජ්‍යයේ ප‍්‍රදේශිය පාලකයෙකු වු මලවවරායර් නැමැත්තෙකු සිට ඇති අතර ප‍්‍රථමයෙන් සවුළු පැරකුම්බා රජු සිය සේනාව යවා ඔහු ආපසු ඉන්දීයාවට පලවාහැර ඇත. එහෙත් ඉඩ පාඩම් නොගත් මලවවරායයෝ සිය බල ප‍්‍රදේශය වු මකුඩන්කොට්ටේ රාජ්‍යයේ ආසන්නයේ ගැවසෙන සිංහල වෙළඳ නැව් කොල්ල කන්නට විය. මල්ලවරායර්ගේ උවදුර ලොප් කිරිමට සිතු පැරකුම්බාවන් සිංහල නාවික සේනාවක් මකුඩන්කොට්ටයට යවා මලවවරායර් හා ඔහුගේ සේනාව පරාජය කර අදවිරාම පටුන ප‍්‍රදේශය අල්ලාගෙන වාර්ෂිකව කප්පම් අය කල බව මෙම නාවික ආක‍්‍රමණය සඳහන් කරන ගිරා සංදේශය හා පැරකුම්බා සිරිත වර්ණනා කරයි. එහෙත් මේ බවක් චුල වංශයේ හෝ රාජාවලියේ හෝ විජයනගර වාර්තාවල සඳහන්ව නැත. නමුත් VI පරාක‍්‍රමබාහු රජතුමාගේ මකුඩන්කොට්ටේ රාජ්‍ය ආක‍්‍රමණය ලාංකීක පාලකයෙකු සිදුකළ අවසාන විදේශ ආක‍්‍රමණය වේ. කි‍්‍රස්තු වර්ෂ 17 මහනුවර යුගයේ දී සෙනරත් රජතුමා පෘතුගීසින් එලවා දැමීම සඳහා බොස්කොවර් හෙවත් මීගමුව කුමාරයා නම් ඕලන්ද ජාතික සෙනවියෙකු යටතේ සිංහල නාවික හමුදාවක් ගොඩනඟා ගෙන ඇත. එහි නිලබල ක‍්‍රමය මෙසේ ය.

යාත‍්‍රාව  මෙහෙය වූ නායකයා
කැන්ඩි නම් යුද්ධ යාත‍්‍රාව කපිතාන් සුන්දරප්පු
ගාල්න්චි නම් යුද්ධ යාත‍්‍රාව කපිතාන් කෙස්ටිනා
මීගමුව නම් යුද්ධ යාත‍්‍රාව කපිතාන් ඩිංගප්පු
ගොටුන් නම් යුද්ධ යාත‍්‍රාව කපිතාන් ඔර්ඩියා
ගෙලූක් නම් යුද්ධ යාත‍්‍රාව කපිතාන් මාරසිංහ
ටොරෝවේ නම් යුද්ධ යාත‍්‍රාව කපිතාන් සුන්දරප්පු

 

මෙම සිංහල නාවික සේනාව මීගමුව, මන්නාරම, කුමාරි තුඩුව යන ප‍්‍රදේශ වල මෙහෙයුම සිදුකොට පෘතුගීසි යුද්ධ යාත‍්‍රා සහ ප‍්‍රවාහන යාත‍්‍රා විශාල සංඛ්‍යවක් විනාශ කළ බව බැල්දියස් වාර්තා කරයි. මෙම කරුණු සමාලෝචනය කොට බැලීමෙන් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ෙඡ්දය තුළ සිංහලයන් සතුව නාවික හමුදාවක් පැවති බවයි. මෙ පරිද්දෙන් වරින්වර ලංකාව තුළ නාවික හමුදා සහ සටන් පිළිබඳව වාර්තා පැවතිය ද, නෞකාවක ස්වරූපය පිළිබඳව තොරතුරු ලැබෙන්නේ මද වශයෙනි. එහෙත් ලී චායෝ, කොස්මස්, ෆාහියන් හිමි යනාදින්ගේ වාර්තා වලට අනුව ලංකාවේ නැව් තට්ටු තුනකින් සමන්විත වූ අතර මිනිසුන් 700ක් පමණ ප‍්‍රවාහනය කළ හැකි ය. හදිසි අවශ්‍යතාවන් සඳහා නැවට කුඩා ඔරු සවිකර තිබිනි. තව ද, නැව කුඹ ගසකින් සහ සුක්කානමකින් සමන්විත වූ අතර ගබඩා, කුඩා රෝහල් හා රැස්වීමි ශාලා වැනි විශේෂ අංගෝපාංග වලින් සිංහල නෞකා පරිපූර්ණ විය.

--------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය 2017.12.11 වැනි දින පළමු වරට www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
--------------------------------------------------------------------------------------------------------

අනුරාධපුරයෙන් හමු වූ කුරුස රූපය

දිලිනි ලක්මාලි මෙස්ලින්කා

ප‍්‍රවේශය

දිලිනි ලක්මාලි

ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය සකස්වීමෙහි ලා ලංකාවේ පිහිටීම යන ස්වාභාවික කාරණය විසින් සපයන ලද උත්තේජනයන් බොහෝ ය. විවිධ ජන කණ්ඩායම්, සංස්කෘතීන් මෙන්ම ආගම් ද එක්වීමෙන් මෙරට බහුවිධ සංස්කෘතික ලක්‍ෂණ සහිත රටක් බවට පත්වන්නේ පෙර අපර දෙ දිග යා කරන සමුද්‍රික මාර්ගයේ කේන්ද්‍රස්ථානයක්ව ලංකාව ස්ථානගත වීමෙනි. ඉන්දියාවේ ජන්මය ලද බුදු දහම හා හින්දු දහම, අරාබිකරයේ බිහි වූ මුස්ලිම් දහම මෙන්ම නූතන මැද පෙරදිගට අයත් පලස්තීනයේ ජෙරුසලම මුල්කොටගෙන බිහි වූ කතෝලික දහමේත් උරුමය ලංකාවට ලැබෙන්නේ ඉහත කී භූ ගෝලීය ලක්‍ෂණය හේතුවෙනි. අනාදිමත් කාලයක පටන් ලංකාව හරහා දේශගවේෂණයෙහි, වෙළඳාමෙහි යෙදුණු පුද්ගලයින් මෙරටින් නික්ම ගියේ ඔවුන්ගේ සංස්කෘතීන්ගේ විවිධ වූ ස්පර්ශයන් මෙරට ඉතිරි කරමිනි. ‘අනුරාධපුර කුරුසිය’ ද දිවයිනේ පැරණිම කතෝලික ආගමික සංස්කෘතියකට සාක්‍ෂ්‍ය සපයන්නා වූ එවන් ස්පර්ශයකි.

කුරුසිය සංකේතයේ ආරම්භය

අනුරාධපුර කුරුසිය පිළිබඳව අපගේ මාතෘකාවට ප‍්‍රවේශ වීමට මත්තෙන් කුරුසිය සංකේතයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීම වටනේ ය. කුරුසිය සලකුණෙහි බිහිවීම මානව ඉතිහාසයෙහි ආරම්භය තරම්ම දුරකට දිවේ. ප‍්‍රාථමික ආර්යය ශිෂ්ටාචාරයන්හි ශුද්ධ ගින්න, සූර්යයා, විදුලි කෙටීම හා උෂ්ණත්වය සංකේතවත් කිරීමට කුරුසිය සලකුණ යොදාගත් බව දැක්වේ (Christian crosshttps: //en.wikipedia.org/wiki/Christian_cross). පුරාණ ඊජිප්තු චිත‍්‍ර අතර සෙක්මට් (Sekhmet) දෙවඟන විසින් අන්ක් (Ankh) නම් කුරුසිය සලකුණ අතින් ගෙන සිටිනු නිරූපණය වේ (ඡායාරූප අංක 1). තව ද ඊජිප්තු චිත‍්‍රාක්‍ෂර අතර දැක්වෙන කුරුසිය සංකේතයන්ගෙන් අදහස් කරන්නේ ජීවිතය හෝ ජීවනයේ සංකේතයයි (එම).

ඡායාරූප අංක 1

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා අතර ද කුරුසිය සංකේතය හඳුනාගෙන තිබේ. ප‍්‍රමුඛවම දක්නට ලැබෙන කුරුසිය සලකුණ සමඟ යෙදෙන ස්වස්තික සලකුණෙන් සූර්ය සංකේතය නිරූපණය කෙරෙන බව සැලකේ. ශරන්සිංට අනුව කුරුසියෙන් සිව් දිශාවනුත්, ස්වස්තිකයෙන් සූර්යයාත් අදහස් කෙරේ (Sharansingh 1984:29).

කි‍්‍රස්තු පූර්ව තෙ වන සියවසේ පටන් ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද වර්ධනය වන බ‍්‍රාහ්මී සෙල්ලිපි වල දැක්වෙන “ක” අක්‍ෂරය සංකේතවත් වන්නේ ද කුරුසිය සලකුණෙනි. ලංකාවේ බ‍්‍රාහ්මී සෙල්ලිපි අතර එන බ‍්‍රාහ්මී නොවන සංකේත අතරින් ද කුරුසිය සංකේතය හඳුනාගත හැකි වේ. කි‍්‍රස්තු පූර්ව තෙ වන හා පළමු වන සියවස අතර කාලයට අයත් බවට සැලකෙන කුරුණෑගල දිස්ත‍්‍රිකයේ පෙරියකඩු විහාරයේ ගුහා ලිපියක ආරම්භයෙහි දිගින් එක් සමාන බාහු හතරකින් යුත් කුරුසියක් කොටා ඇත. එය ජ්‍යෝතිෂ්‍යඥයෙකු විසින් පිදූ ලෙනක් බැවින් මෙම ලාංඡනය ජ්‍යෝතිශ්‍යය සංකේතයක් සේ ද දක්වා ඇත (දේවේන්ද්‍ර 2007:87). මේ හා සමාන කුරුසියක් කනිෂ්ක රජු විසින් කරවන ලද ෂා – ජී – කිසේරි විහාරයෙන් ද හමු වී ඇති අතර ඉන් ත‍්‍රිරත්නය සංකේතවත් කෙරෙන බව සැලකේ (එම). තක්‍ෂිලාවෙන් හමු වූ කි‍්‍රස්තු පූර්ව තෙ වන සියවසෙහි ලා සැලකෙන කාසි ඇතුළු උතුරු ඉන්දියාවෙන් හමු වූ සෙසු ගෝත‍්‍රික කාසි වල ද වෙනත් සංකේත සමඟ යෙදෙන කුරුසිය සලකුණ හඳුනාගත හැකිය (Sharansingh 1984:29). මෙම සියවසටම අයත් වන මෘංමය තැටියක කැටයම් කරන ලද හැඩහුරුකමින් අනුරාධපුර කුරුසියට සමාන වන කුරුසිය සලකුණක් යුරෝපා මහද්වීපයෙහි ටරන්ටෝ (Taranto) නම් ස්ථානයෙන් හමු වී ඇත (Devendra 1956:86). ඉහත සාධක අනුව මානව ශිෂ්ටාචාරයෙහි ආරම්භයෙහි පටන්ම කුරුසිය සලකුණ විවිධ අරමුණු මතල විවිධ ජන සමාජයන් තුළ භාවිත වූ ආකාරය වටහා ගත හැකිවන්නේ ය.

කතෝලික සභාව තුළ කුරුසිය සලකුණ

කතෝලික සභාව තුළ කුරුසිය සලකුණෙහි උපයෝගීතාව විමසීමේ දී එය කි‍්‍රස්තුස් වහන්සේගේ සංකේතය ලෙස සැලකේ. එයට හේතු වන්නේ කි‍්‍රස්තුස් වහන්සේ කුරුසියෙහි ඇණ ගසා මරණයට පත් කිරීමයි. කුරුසිය කි‍්‍රස්තුස් වහන්සේගේ සංකේතය ලෙස පිළිගනු ලැබූයේ උන්වහන්සේගේ මරණයෙන් සියවස් තුනකට පමණ පසු රෝම අධිරාජ්‍යයෙහි බලයට පත් කොන්ස්ටන්ටයින් රජුගේ මව් බිසව වූ හෙලේනා විසිනි.

කතෝලික ආගමේ ආගමික සංකේතයක් බවට පත් වීමට පෙර කුරුසියෙහි ඇණ ගැසීම පැරණි ජුදා සමාජයෙහි කි‍්‍රයාත්මක වූ මරණීය දණ්ඩන ක‍්‍රමයකි. රාජ්‍යයට විරුද්ධව බරපතල අපරාධ කළවුන් එකල කුරුසියෙහි ඇණ ගසා මරණයට පත් කරන ලදී. ආධ්‍යාත්මික ආගමික විප්ලවයක් කරා ජනතාව නැඹුරු කළ වරද පිට අපරාධකාරයෙකු කරන ලද කි‍්‍රස්තුස් වහන්සේ ද කුරුසියේ ඇණ ගැසීමෙන් මරණයට පත් කරන ලදී.

අනුරාධපුර කුරුසිය (ඡායාරූප අංක 2)

ඡායාරූප අංක 2

කි‍්‍රස්තු වර්ෂ 1913 දී එවකට ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් තනතුර දරන ලද එඩ්වඩ් ආර්. අයර්ටන් මහතා විසින් පැරණි ඇතුළු නුවර ප‍්‍රදේශයෙහි සිදුකරන ලද පුරාවිද්‍යා කැනීමක දී පැරණි නිවසකට අයත් නටබුන් අතරින් කුරුසිය සලකුණ කැටයම් කරන ලද ග‍්‍රැනයිට් පාෂාණයෙන් කරවන ලද ශිලා ස්ථම්භයක් සොයා ගෙන ඇත. 1912-1913 පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ වාර්ෂික වාර්තාවේ දැක්වෙන පරිදි1 සිරස් අතට අඟල් 3 ¼ක් ද තිරස් අතට අඟල් 2 7/8ක් ද දිගින් යුත් මෙම කුරුසිය සලකුණ ආයත චතුරස‍්‍රාකාර පසුබිමක් තුළ පාෂාණය මත ගිල්වා තිබේ (Devendra 1956:85). අයර්ටන් මහතාගේ අදහසට අනුව ගොඩනැගිලි සඳහා ගල් කුළුණු බහුලව ඇති නගරයට මෙම ගල් කුළුණ බැහැර ස්ථානයකින් නොගෙන්වන ලද අතර එය අනුරාධපුරයේම තිබූ කි‍්‍රස්තියානි ආගමික ගොඩනැගිල්ලකට අයත් වූවකි1 (do). ක‍්‍රමයෙන් පටුවෙමින් ඉහළට නගින පාදමක් මත තාල පත‍්‍ර මධ්‍යයෙහි මෙම කුරුසිය කැටයම් කර ඇත. පර්සියානු කලාවේ ලක්‍ෂණ මතකයට නංවමින් කුරුසියෙහි අගිස් හතර පෙති තුනෙහි කොළයක ආකාරයට කැයටම් කර ඇත. ආචාර්ය දේවේන්ද්‍ර පෙන්වා දී ඇති පරිදි මේ කුරුසිය දේශීය කලාවෙහි නොදක්නා අංග වලින් අලංකෘත බව සැලකිය යුතු කරුණක් වේ (දේවේන්ද්‍ර 2007:83).

අනුරාධපුර කුරුසියට රූපීය වශයෙන් සම්බන්ධතා පෙන්නුම් කරන ආරුක්කු හා වෘත්තාකාර හැඩය ගත් පාෂාණයෙහි කැටයම් කරන ලද කුරුස සලකුණ ගණනාවක් දකුණු ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශ වලින් හමු වී දැනට චෙන්නාහි ශාන්ත තෝමස් බැසිලිකා දේවස්ථානයෙහි කෞතුකාගාරයෙහි ප‍්‍රදර්ශනය කෙරේ (ඡායාරූප 3). ඒවා අනුරාධපුර කුරුසියෙන් වෙනස් වන්නේ පාදමක් හා තාල පත‍්‍ර මත නොනැගෙන බැවිනි. පාදම හා තාල පත‍්‍ර මත නොනැංග ද ඒ අතරින් එකක් අනුරාධපුර කුරුසියට වඩා ළඟ ඥාතීත්වයක් පෙන්නුම් කරන බව අපගේ නිරීක්‍ෂණයේ දී පෙනීගිය කරුණකි.

ඡායාරූප 3

අනුරාධපුර කුරුසිය අනුරාධපුර යුගයෙහි මෙරට විසූ කතෝලික ජන සමාජයක් පිළිබඳ තොරතුරු හෙළිකරන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයක් ලෙස එහි කර්තෘත්වය (Authenticity) වෙනස් කළ නොහැකි බැවිනි.

අනුරාධපුර කුරුසියෙහි කර්තෘන් කවුරුන් ද?

සියවස් දහයක කාලයක් ඉක්මවා ශ‍්‍රී ලංකාවේ අගනගරය ලෙස විරාජමාන වූ අනුරාධපුරය මල්වතු ඔය නිම්නයෙහි පිහිටා ඇත. කි‍්‍රස්තු පූර්ව යුගයෙහි පටන්ම දෙස්විදෙස් වානිජ සබඳතා පිළිබඳව පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය තොරතුරු හෙළිකරන අනුරාධපුර නගරය දියුණු වානිජ නගරයක් ලෙස නැගී සිටින්නේ පුරාතන ලංකාව ලෝකයට විවර කළ මන්නාරම අසළ පිහිටි මාතොට වරායෙන් ලද පිටිවහල හේතුවෙනි. රාජ්‍ය කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුරය එකල විදේශීය දේශගවේෂකයින්ගේත්, වෙළෙඳුන්ගේත්, ආගමික යතිවරුන්ගේත් වර්ණනාවට ලක්ව ඇති ආකාරය දෙස්විදෙස් සාහිත්‍යය මූලාශ‍්‍රය මතින් හෙළිවන්නේ ය. ලංකාවේ ස්වාභාවික පිහිටීම ද මෙකී ප‍්‍රවාහය තවදුරටත් බල ගැන්වීය. විවිධ අවශ්‍යතා මත ලංකාවට පැමිණි පුද්ගලයින් මෙරට පදිංචි වීමත්, ඔවුන්ගේම වෙළඳ හෝ ආගමික කණ්ඩායම් වශයෙන් සංවිධානය වී සිටි ආකාරයටත් උදාහරණයෝ ලංකා ඉතිහාසයෙහි කොතෙකුත් වෙති.

අනුරාධපුර යුගයෙහි ලංකාවේ කතෝලිකයින් විසුවේ ද යන පැනය ද ඉහත කී පදනම මතම විමසුමට ලක්කළ හැකි ය. ලංකාවේ කිතුණුවන් විසූ බවට වන මුල්ම පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ අනුරාධපුර කුරුසියයි. නමුත් එහි කාල නිර්ණය මතභේදාත්මක ය. ලංකාවේ විසූ කතෝලිකයින් පිළිබඳව සාහිත්‍යාත්මක මූලාශ‍්‍රයගත තොරතුරු සෙවීමේ දී අපට විදේශීය මූලාශ‍්‍රයක සහය පැතීම සිදු වේ. කොස්මස් ඉන්ඩිකෝප්ලියුස්ටීස් නම් ගී‍්‍රක ජාතිකයාගේ (මොහු නෙස්ටෝරියානු නිකායික පූජකයෙක් ලෙස දැක්වේ) The Christian Topography නම් ග‍්‍රන්ථයෙහි මෙරට කතෝලික ජනපදයක් පැවති බවට තොරතුරු දක්වා තිබේ. කි‍්‍රස්තු වර්ෂ 540 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියාව බලා යන ගමනේ අතරමඟ දී ලංකාවට පැමිණි බව දැක්වෙන කොස්මස් සඳහන් කරන පරිදි, මෙකල ලංකාවේ පර්සියන් කතෝලිකයින්ට අයත් දේවස්ථානයක් පැවති අතර එහි සේවය සඳහා පර්සියාවෙන් පත්කර එවන ලද පූජකයෙක් ද විය. මෙහි පූර්ණ ආගමික වතාවත් ද සිදුකරන ලද බව දැක්වේ. කොස්මස් සඳහන් කරන වැදගත් කාරණයක් වන්නේ, මෙම රටෙහි ජනයා හා රජු වෙනත් ආගමකට අයත් වූ බවයි (Maccrindle 1897:365). කොස්මස්ගේ ප‍්‍රකාශයේ සත්‍යතාව පිළිබඳව උගතුන් සැක පහළ කර ඇතත් (දේවේන්ද්‍ර 2007:86) එය සාවද්‍ය සේ සලකා බැහැර කරලීමට පෙර තත්කාලීන ඉන්දියානු සාගරීය වෙළඳාම කෙරෙහි අවධානය යොමුකිරීම හා ඒ හරහා කොස්මස්ගේ ප‍්‍රකාශය විමසීම වැදගත් සේ හැෙඟ්.

කි‍්‍රස්තු වර්ෂ දෙ වැනි සියවසෙහි අග භාගයේ දී රෝමය බිඳ වැටීම සහ කි‍්‍රස්තු වර්ෂ 323 දී කොන්ස්තන්තිනෝපල් නගරය අගනුවර වශයෙන් තබාගෙන බයිසන්තියන් අධිරාජ්‍ය පිහිටුවා ගනු ලැබීම පෙර අපර දෙදිග වෙළඳාමෙහි ප‍්‍රබල වෙනස්වීම් ඇති කළේ ය. ඉන්දියන් සාගරය වෙත වැටී තිබුණ රතු මුහුද හරහා වූ මාර්ගය කෙරෙහි සෘජු පාලනයක් රෝමයට මෙන් කොන්ස්තන්තිනෝපල් නගරයට නොවුණි. විශේෂයෙන් චීන රෙදිපිළි ඇතුළු පෙරදිග භාණ්ඩ එක්රැස් කරගැනීම සඳහා බයිසන්තියන් පාලකයින්ට අතරමැදියන් වශයෙන් ක‍්‍රියාකළ ඇක්සූමයිට් (Axsumite) ඉතියෝපියානුවන් මත යැපීමට සිදු විය. මෙහි දී ඔවුන් විශාල අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන සිටියා වූ සැසේනියානු පර්සියන්වරුන්ගෙන් එල්ල වූ තියුණු තරඟයට මුහුණ දුන්හ. ඔවුහු චීනය දක්වා වැටී තිබුණු ගොඩබිම් සේද මාර්ගයේ සෑහෙන කොටසක් පාලනය කළහ. පෙර අපර දෙ දිග වෙළඳාමෙහි අතරමැදි තත්ත්වයේ ඒකාධිකාරීන් කෙරෙහි ඉලක්ක කළ පර්සියන්වරුන් තම නාවික සම්පත වැඩිදියුණු කරගත් අතර කි‍්‍රස්තු වර්ෂ හය වැනි සියවස වන විට ඔවුහු ඉන්දියන් සාගරයේ වැදගත්ම සමුද්‍රාශ‍්‍රිත වෙළෙඳුන් බවට පත්වී සිටියහ (Kiribamune 1986:91). පර්සියානු වෙළඳාම් කටයුතුවල කේන්ද්‍රස්ථානය වූයේ ශ‍්‍රී ලංකාවයි. මෙ සමය වනවිට ඉන්දියාවේ හා ලංකාවේ අතරමැදි වෙළඳාමෙහි පර්සියානුවන් පූර්ණ වශයෙන් නිමග්න වෙමින් එහි මුල් බැසගෙන සිටි අතරම, වැදගත් භූමිකාවක් ද නිරූපණය කළ ආකාරය හඳුනාගත හැකිවන්නේ ය. කොස්මස් දක්වන පරිදි මෙම යුගයේ දී පර්සියානුවන් මෙරටට අශ්වයින් රැගෙන එන ලද බැවින් වරප‍්‍රසාද ලත් තත්ත්වයක් හිමිකරගෙන උන්හ (Maccrindle 1897:375).

ඉහත විස්තරය අනුව අපට පර්සියාව හා ලංකාව අතර පැවති වෙළඳ සබඳතාවන්හි ස්වභාවය අවබෝධ කරගත හැකි ය. කොස්මස් ලංකාවට පැමිණියෙකු වූව ද නොවූව ද ඔහුගේ විස්තරය සාවද්‍ය වුව ද නිරවද්‍ය වුව ද අපට එළැඹිය හැකි එක් උපකල්පනයක් වන්නේ ය. එනම්, වෙළඳාම හරහා ලංකාවට පැමිණි පර්සියානුවන් මෙරට පදිංචි වීම සිදුවිය හැකි තත්ත්වයකි. පර්සියානුවන් කතෝලික සභාවෙන් වෙන්ව නෙස්ටෝරියන් නම් වෙනම සභාවක් ලෙස සංවිධානය වීමත් සමඟ ඔවුන් නෙස්ටෝරියන් කිතුණුවන් වශයෙන් හඳුන්වන ලදී. අනුරාධපුරයේ විසූවන් පර්සියන් ජාතිකයින් වීම මත අනුරාධපුර කුරුසිය නෙස්ටෝරියානු කුරුසිය ලෙස ප‍්‍රචලිත විය. එහෙත් මෙය නිවැරදි හඳුනාගැනීමක් ලෙස නොසැලකේ.

ලංකාවේ කතෝලිකයින් සිටි බවට පෙන්වා දිය හැකි අනෙක් සාක්‍ෂ්‍ය වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිය Story of Sigiri ග‍්‍රන්ථයෙහි දක්වන තොරතුරුයි. ධාතුසේන රාජ්‍ය (කි‍්‍ර.ව. 459-477) සමයෙහි ඔහුගේ සේනාව සඳහා දකුණු ඉන්දියාවේ මැංගලෝර් (මුරුණ්ඩ) ප‍්‍රදේශයෙන් ගෙන්වා ගෙන මෙර පදිංචි කර වූ කපිතාන්වරුන් හා සෙබළුන් බොහෝ දෙනෙක් කතෝලික ආගම (Kraistava) වැළඳගෙන සිටි පිරිසක් බව සඳහන් වේ (Paranavitana 1972:43). මේ අනුව පෙනීයන්නේ කොස්මස් සඳහන් කරන ලද පර්සියන් කතෝලික නිකායිකයින්ට පෙර දකුණු ඉන්දීය ප‍්‍රදේශයක සිට පැමිණි කතෝලික දහම ඇදහූ පිරිසක් මෙරට විසූ බවයි. ඔවුන් කවුරුන් ද? මහාචාර්ය පරණවිතානයන් පෙන්වා දෙන්නේ මොවුන් ද පර්සියානු සම්භවය සහිත පිරිසක් බවයි (do). ධාතුසේන රජුගේ සොහොයුරිය විවාහ කරගෙන සිටි මිගාර නම් ඇමතියා ද දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍යයට ගොස් එහිදී කතෝලික දහම වැළගෙන ඔහුගේ බිරිඳ හා දරුවන් ද එම ආගමට හරවා ගන්නා ලද බව ද දැක්වේ (do, 44) මෙ සමය වන විට දකුණු ඉන්දියානු ප‍්‍රදේශයන්හි කතෝලික දහම ව්‍යාප්තව පැවති බව තිර කෙරෙන සාදක පවතියි. එහෙත් ඒ පර්සියානු ජාතික කතෝලිකයින් මගින් ද යන්න ගැටලු සහගත ය.

ඡායාරූප 4
ඡායාරූප 5

කතෝලික සභාවේ ඉතිහාසයට අනුව කතෝලික දහම මුල්වරට ඉන්දියාවට ගෙන එන ලද්දේ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ ශ‍්‍රාවයෙකු වූ තෝමස් නම් අපෝස්තුළුවරයා (Follower) විසිනි. ක‍්‍රිස්තු වර්ෂයෙන් පළමු වැනි සියවසේ දී ඉන්දියාවට පැමිණි තෝමස් තුමා දකුණු ඉන්දියාවේ කොචිනය ආශ‍්‍රිත ප‍්‍රදේශයෙහි (වර්තමාන කේරළය) විසූ ජනතාව අතර කතෝලික දහම ව්‍යාප්ත කරන ලද බව පැවසේ. ලොව පැරණිම කතෝලික ජන සමාජය මෙය බව සැලකේ (From Wikipedia, the free encyclopedia). තෝමස් තුමාගේ ඉන්දියානු ධර්ම ප‍්‍රචාර කටයුතු සඳහා එකල ඉන්දියාවේ දේශපාලනික බලය ව්‍යාප්ත කරගෙන සිටි පර්තියන් පාලක ගොණ්ඩපර්ණීස් (කි‍්‍ර.ව. 20-60) රජුගේ සහාය ද ලැබුණු බැව් සැලකේ. මෙම ඓතහාසික කරුණ පුරාවිද්‍යා මූලාශ‍්‍රයක් මගින් ද සනාත කෙරේ. චෙන්නාහි ශාන්ත තෝමස් බැසිලිකා දේවස්ථානයෙහි කෞතුකාගාරය සතු ද්විත්ව රූප සහිත ශිලා ස්ථම්භයක එක් පසෙක පොතක් අතින් ගත් තෝමස් අපෝස්තුළුතුමන්ගේ රුවත් එහිම අනෙක් පස වැඳ වැටී සිටින ගොණ්ඩපර්ණීස් රජුගේ යැයි සැලකෙන රුවත් කැටයම් කර ඇත. මෙම පුරාකෘතිය තෝමස් තුමා ධර්ම දූත සේවයෙහි යෙදුණු දකුණු ඉන්දියාවේ මයිලපූර් කන්ද (වර්තමාන St.Thomas Mount) ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් අනාවරණය කරගෙන ඇත (ඡායාරූප 4 හා 5).

කි‍්‍රස්තු වර්ෂ 52 දී ඉන්දියාවට පැමිණෙන තෝමස් තුමා කි‍්‍රස්තු වර්ෂ 72 දී මයිලපූර් කන්දේ දී ප‍්‍රාණ පරිත්‍යාගීවන්නේ කතෝලික විරෝධී හින්දු බ‍්‍රාහ්මණ කැරැල්ලක ප‍්‍රතිඵලයක් ලෙසිනි. එතුමාගෙන් කතෝලික දහමෙහි ආභාසය ලැබූ ජන පිරිසක් මෙකල දකුණු ඉන්දියානු කලාපයෙහි ජීවත් වූ බව සිතීමට එම ප‍්‍රදේශයෙන් අනාවරණය කරගෙන තිබෙන ශිලා පුරාවස්තු එමට සාක්‍ෂ්‍ය දරන්නේ ය. දකුණු ඉන්දියාව හා ලංකාව අතර පැවති දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධතා හමුවෙහි කිතුවසින් සිව්වන සියවසෙහි අග භාගයෙහි පටන්ම කතෝලික දහම මෙරටට ද ලැබෙමින් පැවති බව සැලකීම යුක්ති සහගත ය. පස්වන සියවසේ දී කොස්මස් දක්වන්නේ ද මෙම කතෝලික සමාජය පිළිබඳ තතු විය හැකි ය.

ඡායාරූප 6

අනුරාධපුර කුරුසිය හා ශාන්ත තෝමස් තුමාගේ බව සැලකෙන චෙන්නාහි ශාන්ත තෝමස් දෙව්මැඳුරේ බිත්තියකට සවිකර තිබෙන කුරුසිය සලකුණ ද යම් පමණකින් සමානත්වයක් දරන්නේ ය. St.Thomas Mount ප‍්‍රදේශයේ දී කි‍්‍රස්තු වර්ෂ 1547 දී පෘතුගීසීන්ට හමු වූ මෙම ගල් කැටයම ඔවුන් විසින් එහි ඉදිකරන ලද දේවස්ථානයෙහි බිත්තියකට සවිකර ඇත. අනුරාධපුර කුරුසිය මෙන්ම මෙම කුරුසිය ද එකිනෙක මතින් නැගෙන පදනම් තට්ටු තුනක් මත නැගේ. දෙපසට තාල පත‍්‍ර විහිදේ. කළු පැහැති දීප්තිමත් පාෂාණයක් මත උනන්තව නෙළා ඇති ශාන්ත තෝමස් කුරුසිය කලාත්මක බවින් පරිපූර්ණ ය. කුරුසියේ ඉහළම අගිස්ස මත කැටයම් කර ඇති පෙති තුනේ කොළය මත පිහිටන තවත් පෙති තුනේ කොළයක් හා කුරුසිය දෙපස කැටයම් කර ඇති කුළුණු දෙකත්, කුළුණු දෙක මත නැගගත් මකරුන් දෙදෙනෙකුගේ කටවලින් ඉහළට විහිදෙන ආරුක්කු හැඩයත් තොමස් කන්දේ කුරුසිය අනුරාධපුර කුරුසියෙන් වෙනස් කරවයි (ඡායාරූප 6) මකරුන් නැග සිටින කුළුණු හා ආරුක්කු හැඩය පර්සියානු ආභාසය ලත් ඉන්දියානු කලාවට නෑකම් පවසන බව පෙනේ. කැටයම වටා ආරුක්කු හැඩයට බේරන ලද රාමුව වටා ලිය වී තිබෙන පහ්ලව අක්‍ෂර පාඨයකි. මෙම කුරුසිය සලකුණ ශාන්ත තෝමස් තුමා විසින්ම කරවන ලද බව සැලකුණ ද එහි සඳහන් වන පහ්ලව (පැරණි පර්සියානු) අක්‍ෂර ක‍්‍රිගවග 7 වැනි සියවසට අයත් බව සැලකේ (දේවේන්ද්‍ර 2007:85). Mar Thoma Sliba නමින් හඳුන්වන මෙම වර්ගයේ කුරුස සලකුණු කේරළයේ විවිධ ස්ථාන වලින් මෙන්ම, ගෝවල තමිල්නාඩුවල පාකිස්ථානයේ තක්‍ෂිලාවෙන් හමු වී ඇත. අනුරාධපුර කුරුසිය ද ඇතුළු කර ඇත්තේ මෙම වර්ගීකරණයටම ය (From Wikipedia, the free encyclopedia). අනුරාධපුරයෙන් හමු වූ කුරුසිය සලකුණත්, ඉන්දියාවේ තෝමස් කන්දේ දේවස්ථානයෙහි ඇති කුරුසිය සලකුණ හා ශාන්ත තෝමස් බැසිලිකාවේ කෞතුකාගාරයෙහි ප‍්‍රදර්ශනය කෙරෙන කුරුසිය සලකුණු අධ්‍ය්‍යනයේ දී අපට පෙනී ගිය කරුණක් වන්නේ මේවා සියල්ලම එකම මූල ආභාසයක් ලබන බව ය. එය පර්සියානු ආභාසය ද? ඉන්දියානු දේශීය ආභාසයක් ද?.

අනුරාධපුර කුරුසියේ කාල නිර්ණය

අනුරාධපුර කුරුසියේ කාල නිර්ණය සම්බන්ධයෙන් එය සොයාගත් අයර්ටන් මහතා පෙන්වා දෙන්නේ මෙම කුරුසිය පෘතුගීසි යුගයට අයත්වන බවයි.3 (Devendra 1956:85). නමුත් අපගේ අධ්‍යයනයට ලක් කරන ලද පෘතුගීසි කුරුසිය සලකුණු කිසිවක් අනුරාධපුර කුරුසියට ඥාතීත්වයක් පෙන්නුම් කරන බව නොපෙනේ. මෙම කුරුසිය සලකුණ සහිත ශිලා ස්ථම්භය හමු වූ සන්දර්භය අනුව එය පිටතකින් එම ස්ථානයට ගෙන ආවක් බව පැහැදිලි ය. එබැවින් ඒ හා සමඟ සන්සන්දනාත්මක අධ්‍යයනයකට අවශ්‍යය වෙනත් පුරාවස්තු අප සතු නොෙව්. අනුරාධපුර කුරුසියේ කාල නිර්ණය පිළිබඳව යම් අදහසක් ලබා ගත හැක්කේ එය ශාන්ත තෝමස් කුරුසිය හා සන්සන්දනාත්මකව අධ්‍යයනයට ලක් කිරීමෙනි. නමුත් එම කුරුසිය සම්බන්ධයෙන් ද නිශ්චිත කාල නිර්ණයක් ඉදිරිපත් වී නොමැත. දේවේන්ද්‍ර මහතාට අනුව එම කුරුසිය කි‍්‍රස්තු වර්ෂ හත්වන ශතවර්ෂයෙන් මෙපිටට අයත් වන්නකි (දේවේන්ද්‍ර 2007:85). බොහෝ දුරට අනුරාධපුර කුරුසිය ද එම යුගය හා සම කාලීන වීමට ඉඩ ඇති බව පෙනේ. එකම රූපීය ලක්‍ෂණයන් පෙන්නුම් කර තිබීම හැර මෙම කරුණ සනාත කිරීමෙහි ලා ඉදිරිපත් කළ හැකි වෙනත් සාක්‍ෂ්‍ය නොපෙනේ.

සමාලෝචනය

දකුණු ඉන්දියාවේ ශාන්ත තොමස් කුරුසිය හා ශාන්ත තෝමස් බැසිලිකා දේවස්ථානයෙහි දක්නට ලැබෙන කුරුසිය සලකුණු සමඟ ශ‍්‍රී ලංකාවේ අනුරාධපුර කුරුසිය සන්සන්දනාත්මකව අධ්‍යයනයට ලක්කරමින් සිදුකරන ලද මෙම විග‍්‍රහයේ දී පැහැදිලි ලෙසම මෙම කුරුස සියල්ලම පර්සියානු කලා ලක්‍ෂණයන්හි ආභාසය ලබා ඇති බව පෙනීයන්නේ ය. දක්‍ෂිණ ඉන්දීය කලාපයට කතෝලික දහම ශාන්ත තෝමස් තුමන් විසින් හඳුන්වා දුන් බැවින් එතුමා විසින් කරවන ලදැයි ජන විශ්වාසයෙහි පවතින St.Thomas  Mount  හි කුරුසිය හා ඒ වටා දිවෙන පහ්ලව (පර්සියානු) වට පාඨය මෙම කරුණ තහවුරු කරලයි. කි‍්‍රස්තු වර්ෂ පළමු වැනි සියවසේ දී තෝමස් තුමන් විසින් ඉන්දියාවෙහි පිහිටුවන ලද කතෝලික ආගමික සභාවන් එතුමාගේ මරණින් අනතුරුව යම් යම් වෙනස්කම් වලට බඳුන් වූ බව සිතීමට සාදක පවතියි. කි‍්‍රස්තු වර්ෂ 5/6 සියවස්හි ඉන්දියාව හා ලංකාව හරහා කි‍්‍රයාත්මක වූ පර්සියානු වෙළඳාම හරහා එම රටවල පැවති කතෝලික ආගමික විශ්වාසයන් හා ඇදහිලි පිළිවෙත් ඉන්දියාවට ද ඇදී එන්නට ඇත. දහසය වන සියවසේ දී මයිලපූර් ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් විවිධ වර්ගයේ කුරුසිය සංකේත ගණනාවක් අනාවරණය කරගත් අන්තෝනියෝ ගොවුවියා දක්වන්නේ මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිතව කුරුසිය වන්දනාව චාරිත‍්‍රයක්ව පවතින්නට ඇති බවයි (From Wikipedia, the free encyclopedia). එබැවින් දේශීය ඉන්දීය ලක්‍ෂණ මෙන්ම විදේශීය ලක්‍ෂණයන් ද සහිත කුරුසිය සලකුණු මෙම කුරුස වන්දනා සංස්කෘතිය තුළ ඉදි කරන්නට ඇත. අනුරාධපුර කුරුසියේ කර්තෘන් ද මෙම සංස්කෘතියට ඥාතිත්වය කිවූවන් විය හැකි ය. එවන් ජන කණ්ඩායමක් විසින් ඉදිකරන ලද ආගමික ගොඩනැඟිල්ලකට කුරුසිය සලකුණ සහිත මෙම ශිලා කුලුණ අයත් විය හැකි ය.

1 Annual Report of the Archaeological Survey of Ceylon for 1912-1913, P.5

2 Annual Report of the Archaeological Survey of Ceylon for 1912-1913, P.5

ආශ‍්‍රිත මූලාශ‍්‍රය

  • දේවේන්ද්‍ර, ඩී.ටී. (2007), අනුරාධපුරයෙන් පෑදුණු පැරණි කුරුසිය, සඳකඩ පහණ සහ වෙනත් ලිපි, කොළඹ, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, පි. 83-89
  • Devendra D.T. (1956), The  Date Of The Anuradhapura Cross, Journal Of The Royal Asiatic Society, Vol. iv, Part. i, Colombo: The Colombo Apothecaries Society, pp.85-89
  • Kiribamune  Sirima  (1986), Muslims and The Trade Of The Arabic Sea With Special Reference To Sri Lanka From The Birth Of Islam To The Fifteen Century, Muslims Of Sri Lanka Avenues to Antiquity, M.A.M. Shukri(ed), Beruwala, Jamiahnaleema Inst, pp.89-110
  • Maccrindle J.W. (1897), The Christian Topography Of Cosmas, London: Hakluyt Society
  • Paranavitana Senarat  (1972), The Story of Sigiri, Colombo: Lake House
  • Sharansingh  Shatrughna   (1984), Early Coins Of Northern India: An Iconographic Study, Patna: Janaki Prakasham

Web Sites

  • Christian crosshttps://en.wikipedia.org/wiki/Christian_cross
  • From Wikipedia, the free encyclopedia
--------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය 2017.12.07 වැනි දින පළමු වරට www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
--------------------------------------------------------------------------------------------------------

අරිප්පු මුහුදු පතුළින් හමු වූ අල්ලිරාණි රැජිණගේ කරත්තය හෙවත් අරිප්පු ලී නෞකාව

රුක්ෂාන් ප්‍රියන්දන

මුහුදු පුරාවිද්‍යා එ්කකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.

ඡායාරුප – රසික මුතුකුමාරණ

රුක්ෂාන් ප්‍රියන්දන

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක‍්‍රියාත්මක ගාල්ල ව්‍යාපෘතියේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ගවේෂණ රැසක් ක‍්‍රියාත්මක කරන ලදී. එකී ගවේෂණයන්හී ප‍්‍රතිඵලයක් ලෙස මෙරට සෑම කලාපයකම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන ගණනාවක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. ගවේෂණ අතරතුර දී  මුහුද හා ගණුදෙනු කරන පුද්ගලයින් ඒකරාශී කර මෙරට සමුද්‍ර පුරාවිද්‍යා උරුමය පිළිබඳ ව දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලැබේ. ඒ ඔස්සේ  ඔවුන් හා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් මෙරට මුහුදු තීරයේ පවතින උරුමය ආරක්‍ෂා කිරීමට එකී පුද්ගලයින්ගේ දායකත්වය යොදාගත හැකි ආකාරය සොයා බලයි.

ලංකාවේ ප‍්‍රමුඛ තේ නිෂ්පාදන ආයතනයක් වන ඩෙල්මා (Delma) ආයතනය යටතේ ඇති සංරක්‍ෂණ ව්‍යාපෘතියක ප‍්‍රධානත්වය දරන අසංක අබේකෝන් මහතා විසින් මෙම තොරතුර අප වෙත ලබා දෙන ලදී. ලංකාවේ කොරල් සම්පත මෙන්ම වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරා නමින් හඳුන්වන ඩියුගන් (Dugong) නැමති සත්ව විශේෂය සංරක්‍ෂණය කිරීම සඳහා ඒ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ඩෙල්මා සංරක්‍ෂණ ව්‍යාපෘතිය (Delma Conservation Project) යටතේ කටයුතු කරනු ලබයි. අබේකෝන් මහතා මෙන්ම දිය යට ඡායාරූප ශිල්පියෙකු වන ප‍්‍රසන්න වීරක්කොඩි මහතා ද කිමිදුම් කරුවන් වන අතර අරිප්පු ප‍්‍රදේශයේ මසුන් මරන්නන්ගෙන් ලද තොරතුරක් මත මෙම ස්ථානය සොයා ගැනීමට හැකි වී ඇත.

ඔවුන් එම ස්ථානය පරීක්‍ෂාකර එහි කරත්ත රෝදයක හැඩති කොටස් ඇති බව තහවුරු කර ගනිමින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය හට දැනුම් දෙන ලදී. මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් අසංක අබේකෝන් මහතා සහ ප‍්‍රසන්න වීරක්කොඩි මහතා සමග පළමුව මෙම ස්ථානයේ කිමිදුම් කටයුතු සිදුකරන ලදී. අනතුරුව රසික මුතුකුමාරණ, සමීර ප‍්‍රසංග කරුණාරත්න, චමල් කේ. ගමගේ, රුක්‍ෂාන් ප‍්‍රියන්දන, ඉන්දික උපුල් හේවගේ හා කමල් කුමාර ද සොයිසා යන මහත්වරුන් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්. එම්. චන්ද්‍රරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ  ක්‍ෂේත‍්‍රය අධ්‍යනය කොට වාර්තාගත කිරීමට කටයුතු කලහ. සැළසුම්, ඡායාරූප, වීඩියෝ මාර්ගයෙන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වාර්තාගත කිරීම සිදු විය. තවද නෞකාව මත විසිර පවතින යම් යම් කොටස් අධ්‍යයන කටයුතු උදෙසා ලබාගන්නා ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම ගවේෂණ කටයුත්ත සිදුකරන ලදී.

මන්නාරම ආශ‍්‍රිත ප‍්‍රදේශය අතීතයේ සිටම ප‍්‍රසිධ වූයේ මුතු කර්මාන්තය සඳහා ය. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ යටත් විජිත සමය දක්වාම මෙම කර්මාන්තය සිදුව ඇත. බි‍්‍රතාන්‍ය සමයේ සිදුවූ අසීමිත මුතු කිමිදීමත් සමග මුතු බෙල්ලන් වඳ වී ගිය බව මතයයි. මෙම සමයේ විශාල හා කුඩා යාත‍්‍රා භාවිත කරමින් මහා පරිමාණයෙන් මෙම කර්මාන්තය සිදුකර තිබෙන බවට සාධක වේ. අපට හමු වූ යාත‍්‍රාව ද මෙම මුතුපර ආසන්නයේ ගිලී ගිය නෞකාවකි.

නෞකාවේ ගැඹුර මීටර් 8.5 පමණ විය. මීටර් 30ක් පමණ දිගින් හා මීටර් 18ක් පමණ පළලකින් යුක්තව නෞකාවේ කොටස් විසිරී පවතී. නෞකාව සමබර කිරීම සඳහා භාවිත කරන ලද ගල් විශාල වශයෙන් ඉතිරිව තිබේ. ගල් වලට යටින් නෞකාවේ ලී තට්ටුව පවතින දැකිය හැක. ලී කොටස් ගල් අතරට විහි දී යන ආකාරය ස්ථාන කිහිපයකින්ම දැකගැනීමට හැකියාව පවතී. කරත්ත රෝද හැඩයේ යකඩ කොටස් දෙකක් වේ. බොහෝ විට මේවා නෞකාවේ එන්ජින් උපකරණ විය හැක. මිනිසුන් කරත්ත රෝද ලෙසින් හඳුන්වන්නේ මෙකී කොටස් සමූහයටයි. බැලූ බැල්මට එය එසේ පෙනේ. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හඳුනා ගැනීමේ හැකියාව පවතී. මෙහි  බොලොක්කයක (winch) හැඩති කොටක් දැකිය හැක. එකී කොටස අසල සිට ගල් පිහිටා ඇති දිශාව දක්වා ද ලී කොටස් විහි දී යයි.

ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක.  මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

නෞකාවේ විසිර පවතින කොටස් අතර තඹ මිශ‍්‍ර ලෝහයෙන් නිර්මිත තහඩු දැකිය හැක. මෙහි සිදුරු නෞකාවේ භාහිර පෘෂ්ඨයකට ඇණ ගැසීමෙන්  ඇති වූවකි. ඇතැම් තැනක තහඩු කොටස් සමඟ තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමු වේ. තඹ තහඩු මත කොළ පැහැති කොපර් කාබනේට් විඛාදන ඵලයන් බහුලව දක්නට ලැබේ.

මෙය ලී නෞකාවක් බැවින් ලී කොටස් ක්‍ෂේත‍්‍රය පුරාම විසිර පවතී. එකී ලී කොටස් හී ආරක්‍ෂාව සඳහා තඹ පතුරු එයට සම්බන්ධ කර තිබේ. විසිරී පවතින ලී කොටස් මත මෙම ලක්‍ෂණය වේ. එසේම තඹ පතුරු ද පුරාක්‍ෂ්ත‍්‍රය පුරා ම විසිර තිබෙනු දැකිය හැක. තඹ පතුරු ලීයට සම්බන්ධ කිරීමේ දී තඹ ඇණ භාවිත කොට ඇත. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ සැළසුමක් සකස් කිරීම සිදුකරන ලදී. ඒ සඳහා මිනුම් ලබාගැනීමට පළමුව භූමිය තීරු වශයෙන් බෙදා සකසා ගත්හ. පසුව PVC බට යොදා මීටර් 1×1 ප‍්‍රමාණයේ සකසා ගන්නා ලද කොටු දැලක් උපයෝගී කර ගනිමින් සමස්ත පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ම සැළසුම නිර්මාණය කරන ලදී. එසේම ඡායාරූප හා වීඩියෝ යන මාධ්‍ය උපයෝගී කර ගනිමින් විසිර පවතින කොටස් වාර්තාගත කිරීම සිදු කලහ.

එම ප‍්‍රදේශයේ ජනයා අතර පැවති මතය වූයේ මෙහි වන වෘතාකාර කොටස් කරත්තයක කොටස් බවයි. නමුත් සිදුකරන ලද අධ්‍යයනයේ දී පැහැදිළි වූයේ එකී කොටස් කරත්ත රෝද නොවන බව ය. ඔවුන් පවසා සිටියේ කරත්ත රෝද, කරත්තයේ ඇක්සල් කොටස් හා වියගහ එකී ස්ථානයේ වන බවයි. මෙය කරත්ත රෝදයක්ක යන්න බැහැර වන ප‍්‍රධානම කාරණාව වන්නේ එකී රෝද යකඩින් නිර්මාණය කර තිබීමයි. එසේම වියගහ ලෙසින් ඔවුන් හඳුන්වනු ලැබූ කොටස ද යකඩයින් නිර්මාණය කර තිබිණි. කරත්තයක් නම් වියගහ නිර්මාණය කළ යුත්තේ ලී භාවිත කිරීමෙනි.

ගිලිීගිය යාත‍්‍රාව ලීයෙන් නිර්මාණය කර ඇති බව තහවුරු කර ගැනීමට හැකි විය. එස්ම හමු වූ ලී කොටස් තඹ ලෝහයෙන් ආවරණය කර තිබිණ. මෙය දැවයේ ආරක්‍ෂාව උදෙසා බාහිරින් සිදුකරන ලද්දකි. ක්‍ෂේත‍්‍රය පුරාවට මෙකී තඹ කොටස් විසිර තිබේ. වර්තමාණය වන විට දක්නට හැක්කේ යාත‍්‍රාවේ යට තට්ටුව පමණි. එය ආරක්‍ෂා වී ඇත්තේ නැව සමබර කිරීම උදෙසා යොදාගත් ගල් කොටස් හෙයිනි. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ස්ථාන කිහිපයක එකී ලී කොටස් ගල් ගොඩ ඇතුළට ගමන්කරයි.

පුරා ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් කොටස් කිහිපයක් විසිර පවතී. බොහෝ විට එම කොටස් නෞකාවේ ම විය හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ රැහැන් මධ්‍යයේ තන්තුමය කොටසක් පැවතීමයි. ඒ පිළිබද වැඩිදුර අධ්‍යයන කටයුතු ගාල්ල සංරක්‍ෂණ රසායනාගාරයෙන් සිදුකිරීමට නියමිත ය.

පුරාක්‍ෂේත‍්‍රය ගවේෂණය කිරීමේ දී සිදු වූ තවත් විශේෂ දෙයක් වූයේ ගල් අගුරු හමුවීමයි. ගල් අගුරු යාත‍්‍රාව ධාවනය සඳහා භාවිත කරන ලද්දේ ද නැතිනම් ආහාර පාන පිසීම සඳහා භාවිත කරන ලද්දේද යන්න පිළිබඳ ව නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි විය. නෞකාව පුරා විවිධ හැඩයේ යකඩ කොටස් විසිරී පවතී. ඒ අතර පැහැදිලිවම එන්ජිමේ කොටස් යැයි තහවුරු කරගත හැකි යමක් හමු නොවුනි. නෞකාවේ බොහෝ කොටස් මේ වන විට විනාශව ඇති හෙයින් එන්ජිමක් නැතැයි යන්න පැවසීමට හැකියාවක්ද නොමැත. ගල් අඟුරු භාවිතයෙන් යාත‍්‍රාව ධාවනය කර තිබේනම් එය විශේෂ කරුණකි. මන්ද ගල් අඟුරු භාවිතයෙන් ධාවනයේ යෙදුණු ලී යාත‍්‍රා වාෂ්ප එන්ජිම නිර්මාණය වූ සමයේ භාවිත වූ අතර එවැනි යාත‍්‍රා මෙරට මෙතෙක් හමු වී නොමැත. නමුත් වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ යකඩ නැව් මෙරට වෙළද හා නාවුක කටයුතු සඳහා බි‍්‍රතාන්‍යයන් යොදාගත්හ. එවැනි ගිලුණු යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක් ලංකාව වටා මුහුදු තීරයෙන් සොයා ගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මේ වන විට සමත් ව ඇත.

පුරාවිද්‍යා ක්‍ෂ්ත‍්‍රය මතුපිටින් කාලතුවක්කු ආකාරයේ කොටස් කිහිපයක් හඳුනාගත හැකි විය. නමුත් මෙ කොටස් කාලතුවක්කු කොටස් ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැකි විය. මන්ද එහි මතුපිට විශාල වශයෙන් බෙල්ලන් බැදී තිබීම හා ඛාදනය වී තිබීමයි. මෙය කාලතුවක්කු සහිත නෞකාවක් නම් එය යුධ කටයුතු සඳහා භාවිත කරන ලද්දේද නැතිනම් වෙළද කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ද යන්න සොයා බැලිය යුතුව ඇත.  සමස්යතක් ලෙස පහත ගැටලු නිරාකරණය කර ගත යුතුව පවතී.

  • හමු වූ ගල් අගුරු භාවිත කරන ලද්දේ ආහාර පිසීම සඳහා ද නැතිනම් ධාවනය සඳහා ද?
  • එසේ නම් මෙකී නෞකාව ලී රුවල් නෞකාවක් ද වාෂ්ප නෞකාවන් ද?
  • වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ ලී නෞකා ලංකාවේ භාවිත වූ බවට සාධක හමු නොවන අතර මෙය වාෂ්ප නෞකාවක් නම් එහි  උපයෝගීතාව කුමක් ද?
  • කරත්ත හැඩයේ කොටස් එන්ජින් කොටස් ද?

මෙකී ගැටළු නිරාකරනය කර ගැනීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක‍්‍රියාත්මක ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය ඉදිරි සැළසුම් සකස් කරීමට නියමිත ය.

--------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය 2017.10.02 වැනි දින පළමු වරට www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
--------------------------------------------------------------------------------------------------------