Home Blog Page 15

නයිගල විහාරය යනු අතීත ‘කාලපබ්බත’ වෙහෙර ද?

පුජ්‍ය බැරගම සද්ධානන්ද හිමි1 හා එච්.පී. අනුර ගුණවර්ධන2

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය., තිහගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය.

සං‌ක්ෂේපය

බැරගම සද්ධානන්ද හිමි

රෝහණ රාජධානියට අයත් බෞද්ධ සිද්ධස්ථාන අතර නයිගල ආරාම සංකීර්ණයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ජනප‍්‍රවාද වලට අනුව, මහානාග හා ගෝඨාභය රජවරුන්ගේ අනුග‍්‍රහයෙන් මෙම ආරාම සංකීර්ණයේ ආරම්භය හා සංවර්ධනය  සිදු වේ. ආරාම පරිශ‍්‍රය හැදින්වීම සදහා වර්තමාන සමාජ ව්‍යුහයේ නයිගල යන වචනය ව්‍යවහාර වුව ද ඒ පිළිබදව කිසිදු ඵෙතිහාසික සදහනක් මුලාශ‍්‍රයවල සදහන් නොවේ. බොහෝ විට, එම නාමය පරිහානි සමයෙන් පසුව ද්වීතික පරිහරණ සමයේ ආරාම සංකීර්ණය හැදින්වීම සදහා යොදන ලද්දක් විය හැකි ය. ආරාම පරිශ‍්‍රයේ දක්නට ලැබෙන සෙල්ලිපිවල එහි පැරණි නාමය කාලපබ්බත විය හැකි බව දක්වයි. එය සාධනිය ලක්ෂණයකි. තව ද ආරාම සංකීර්ණයේ පිහිටීම හෙවත් සංස්කෘතික භූ දර්ශනය පිළිබදව විමසීමේ දි එකී අදහස වඩාත් තීව‍්‍ර කරයි. පැරණි ගිරුවායට අයත් පාරිසරික හා භූගෝලිය පසුබිම ස්භාවයෙන්ම තැනිතලා සන්දර්භයට අයත් වුවකි. ආරාම සංකිර්ණයට අයත් ඉදිකිරිම් හා භාවිත සීමාව ස්භාවික කළු ගල්තලාවක විහි දී යන ආකාරයට නිර්මාණය වුවකි. පැරණි පිවිසුමේ සිට ආරාමයට පැමිණෙන  ඕනෑම අයෙකුට පළමු වෙන්ම දර්ශනය වන්නේ සම උසකින් නිර්මිත කළු ගල් තලාවකි. එකී ලක්ෂණය වර්තමාන භූ දර්ශයේ වුව ද දැකගත හැකි ය. එය එසේ නම් 18 වන සියවසෙන් පසුව නයිගල යනුවෙන් මෙම ආරාම සංකීර්ණය හැදින්වුව ද අතිත සමාජ සන්දර්භය තුළ කාලහපව් හෙවත් කාලපබ්බත යනුවෙන් ව්‍යවහාර වන්නට ඇති බව පිළිගැනිම අතීශයෝක්තියක් නොවේ.

හැඳින්වීම

නයිගල ආරාම සංකීර්ණය අනුරාධපුර යුගයේ මුල් අවධියේ ආරම්භ වී පබ්බතාරාමයක් ලෙස සංවර්ධනයට පත් ආරාම සංකීර්ණයකි. එකී ආරාම සංකීර්ණයේ ස්වරූපය හඳුනාගැනීම වැදගත් වන අතර ඒ සදහා මුලාශ‍්‍රය සාධක හා සංස්කෘතික භූ දර්ශනය අතර ගොඩනැඟුණු සන්දර්භය තේරුම් ගැනිම අනිවාර්ය අංගයකි. මන්දයත්  ඕනෑම ස්ථානයක සන්දර්භය හා පරිහරණය පිළිබදව කුමන හෝ අදහසක් ලබා ගැනිමට නම් එම එකී සිමාව හෝ ස්ථානය පිළිබදව හදුනාගැනිම වැදගත්ය. මෙම පර්යේෂණයේ මුලික අරමුණ මුලාශ‍්‍රයගත තොරතුරු හා බද්ධ සංස්කෘතික භූ දර්ශනය පිළිබදව අවධානය යොමු කරමින් ආරාම සංකීර්ණයක් ලෙස සමාජගතවිමේ දී භාවිත පැරණි නාමය කුමක්ද යන්න පැහැදිලි කිරීමයි.

මෙහිදි අධ්‍යනයේ පහසුව සදහා නයිගල විහාර පරිශ‍්‍රය පිහිටි ගිරුවාපත්තුවේ ඵෙතිහාසික පසුබිම පිළිබදව පළමු වෙන්ම සංක්‍ෂිප්තව අවධානය යොමු කෙරේ. ඊට අමතරව වර්තමාන නයිගල විහාරයේ පැරණි නාමය කාලහපබ්බත යනුවෙන් අර්ථ දැක්විමේ යුක්තියුක්ත භාවය පිළිබදව කරුණු දැක්වේ. මෙහි දි සංස්කෘතික ඉදිකිරිම් හා බැදුණු සංස්කෘතික භූ දර්ශනය පිළිබදව විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතය ඊට අමතරව පසු කාලිනව සිදු වු දේශපාලනික, සමාජික පසුබිම හරහා පරිහරණය ද්විතික අවස්ථාවේ නයිගල විහාරය යනුවෙන් ව්‍යවහාර වු ආකාරය පිළිබදව කරුණු විමසීමට අපේක්ෂිත ය.

ක‍්‍රමවේදය

දත්ත රැස්කිරීම සදහා සමාජ විද්‍යා අධ්‍යයනවල දි දත්ත රැස් කිරීම සදහා යොදා ගන්නා ක‍්‍රමවේද කිහිපයක් භාවිත කරන ලදී. විශේෂයෙන්ම නීරික්ෂණය, සහභාගිත්ව නිරීක්ෂණය, සම්මුඛ සාකච්ජා, කේවල අධ්‍යනය ඒ අතර වැදගත් වේ.

අපගේ මුලිකම උපන්‍යාසය නම් ආරාම සංකීර්ණය වර්තමානයේ නයිගල ලෙස හැදින්වුවන් එහි පැරණි නාමය නයිගල විය නොහැකි බවයි. මුලික මුලාශ‍්‍රය අධ්‍යයනවල දි නයිගල හෝ ඒ හා සම්බන්ධ සටහනක් ඵෙතිහාසික මුලාශ‍්‍රයවල දක්නට නොලැබුනද කේෂ්ත‍්‍ර නිරික්ෂණය අවස්ථාවේ දි ආරාම භුමියේ ශිලාලේඛනවල පැරණි නාමය පිළිබදව යම් අදහසක් සදහන් විම සාධණීය ලක්ෂණයකි. ඒ අනුව අපගේ උපන්‍යාසයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරිම සදහා සංස්කෘතික භු දර්ශනය පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලදි. එහිදි දත්ත රැස්කිරිම වැඩි වශයෙන් ගුණාත්මක දත්ත රැස්කිරිමේ විධික‍්‍රමය හරහා සිදු විය.

ප‍්‍රතිඵල හා සාකච්ජාව 

නයිගල තදාශි‍්‍රත ප‍්‍රදේශයේ ඵෙතිහාසික පසුබිම

ගිරි ජනපදයට හෙවත් ගිරුවා දනව්ව පිළිබද ඵෙතිහාසික තොරතුරු මුලින්ම අපට ක‍්‍රිස්තු පූර්ව 6 වන සියවසේ දි පමණ අසන්නට ලැබේ. උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්ය සංක‍්‍රමණිකයින් ක්‍ෂශ්‍රීක දකුණු ප‍්‍රදේශවල ජනපද පිහිටුවා ගත් බව වංශකතාවල දැක්වේ. භද්දකච්චායනා කුමරියගේ සොහොයුරු රෝහණ කුමාරයා මුල් ජනාවාස පිහිටුවා ගැනිම ඒ අතර ප‍්‍රධාන වේ (මහාවංශය 1994:9,9-10). ඒ ආකාරයට ආරම්භ වු දකුණේ ආර්ය ජනාවාසකරණය පණ්ඩුකාභය සමය වන විට වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කරයි (මහාවංශය 1994:10,29). විශේෂයෙන්ම පණ්ඩුකාභය කුමරු ශිල්ප ඉගෙන ගත් පණ්ඩුල බ්‍රාහ්මණයාගේ ග‍්‍රාමය දකුණු දිග පණ්ඩුල ග‍්‍රාමයේ පිහිටි බව වංශකතාවල සදහන් වේ. ඒ අනුව, ඇතැම් උගතුන් පණ්ඩුකාභය ශිල්ප ඉගෙනගත් පණ්ඩුලග‍්‍රාමය ගිරිපා දනව්ව හෙවත් ගිරුවා පත්තුවේ පිහිටි බව තර්ක කරයි. එකී අදහස එකහෙලා පිළිගැනිමට නොහැකි වුවත් මුලාශ‍්‍රයගත තොරතුරුවලට අනුව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට පෙර රෝහණ ප‍්‍රදේශය ක්‍ෂශ්‍රීක සමෘද්ධිමත් ජනාවාසකරණයට ලක්ව තිබු කලාපයක් බවට පත්ව තිබු බව සදහන් කරයි (සෝරත2002:92-105).

පණ්ඩුකාභය කුමාරයාට නයිගල විහාරයට වයඹ දෙසින් පිහිටි කසාගල අවටින් හත්සියයක් පමණ පිරිසක් එකතු වු බව මහාවංශයේ සදහන් වේ. ඊට අමතරව බ‍්‍රාහ්මණයන්ගේ යැපීම් සදහා දෙනු ලැබු ගොදුරුගම අග‍්‍රහැර ලෙස හඳුනාගැනිම සාධනීය ලක්ෂණයකි. ඒ අනුව, මහාවංශයේ සඳහන් වන පණ්ඩුකාභයට එකතු වු 700ක් පිරිස ගිරුවාපත්තුවේ කසාගල ග‍්‍රාමයෙන් එකතු වුවා නම්, බමුණන්ට දෙනු ලැබු ග‍්‍රාමය වර්තමාන අග‍්‍රහැර ලෙස සාධනීය ලෙස හඳුනාගත හැකි නම් පැහැදිලි වශයෙන්ම වර්තමාන නයිගල තදාශි‍්‍රත ප‍්‍රදේශය පැරණි ගිරිකඩ රට හෙවත් ගිරිපා දනව්ව ලෙස හදුනාගත හැකි ය.

වර්තමාන නයිගල ආශි‍්‍රත තදාශිත ප‍්‍රදේශය ක‍්‍රිස්තු පූර්ව 6 සියවසට පෙර සිට ජනාවාසකරණයට ලක්ව තිබු ප‍්‍රදේශයක් බව පැහැදිලි ය. එසේම ක‍්‍රිස්තු පූර්ව ආරම්භක සියවස වන විට රෝහණයේ සැලකිය යුතු ප‍්‍රධාන ආගමික ආයතනයක් බවට පත් වන්නට ඇත. ඊට කදිම නිදසුනක් ලෙස ආරාම සංකීර්ණයේ දක්නට ලැබෙන ඉපැරණි වජ‍්‍රාසනය වැදගත් සාධකයකි. මන්දයත් වජ‍්‍රාසනය හා සම්බන්ධ වන්දනය බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය විමට පෙර වන්දනාමානයට ලක් වු නිර්මාණ වේ. එසේම ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවස වන විට මෙම ආරාම සංකිර්ණයේ ස්වර්ණමය අවධිය නියෝජනය කරන බව ආරාම සංකීර්ණයට අයත් ශිලාලේඛණ ප‍්‍රමාණවත් සාක්ෂි සපයයි. ක‍්‍රිස්තු වර්ෂ 3-4 සියවසට අයත් ලිපියෙහි කහවනු 100ක් ලබාදි වහලුන් නිදහස් කල බවක් සදහන් වන අතර ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවසට අයත් දෙ වන ලිපියෙහි පැහැදිලි වශයෙන්ම ආරාමය පරිශ‍්‍රයේ සිදු කෙරෙන අරියවංශ දේශනාව පැවැත්වීම සදහා කහවනු පරිත්‍යාග කල බව සදහන් වේ (නාගොඩවිතාන 2016). ශිලාලේඛනයට මීටර 40 පමණ දුරින් 2013 වර්ෂයේ සිදු කළ පුරාවිද්‍යා කැනීම මගින් ද අරියවංශ දේශනාව පැවැත්වුවා යැයි සැකකරන එළිමහන් මණ්ඩපයක් සොයා ගැනිම ද වැදගත් ලක්ෂණයකි (කැණිමේ වාර්තාව 2013).

නූතන ව්‍යවහාරය තුළ මෙම විහාරය නයිගල යනුවෙන් හැදින්වුව ද ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වන විට හැදින්වුයේ කාලහපබ්බත විහාරය නමින් බව උපකල්පනය කිරීමට ප‍්‍රමාණවත් සාධකයක් ලෙස සෙල්ලිපි වැදගත් වේ. පළමු  වැනි ලිපියෙහි දෙවන පෙළහි කා(ළහ)පබව යනුවෙන් දැක්වේ.

මහවරම . . . . . . සම

ණයහ කා(ළහ) පවච

හෙරහි වහරල චිදි කොටු

(කහ) වණ සියයත කොටු

. . . . . . . . . . (ස) ච සතෙනට පනි

අර්ථය

මහවර (නම් ප‍්‍රදේශයේ වසන) සමාර නැමැත්තා කලහ පව (කාළහ පබ්බත) විහාරයට කහවනු 100 ක් දී වහරල මුදවන ලදී. මේ පින සියලු සත්වයන්ට වේවා!

මේ ලිපියට අනුව විහාරයේ නම සදහන් වන ස්ථානයේ මෙම අකුරු දෙකක් පමණ මැකි ගොස් ඇති අතර අනුමාන වශයෙන් මෙය කා(ළහ) පව ලෙස ගලපා ගත හැකි ය. මෙම ලිපියේ කළහපව යනුවෙන් සදහන් කර තිබීමෙන් පැහැදිලිව කිව හැක්කේ මෙම විහාරස්ථානය ආරම්භ අවධියේ භාවිත වු නාමය නයිගල නොව කාලහපබ්බත යන්නයි. එපමණක් ද නොව ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවසට අයත් දෙ වන ශිලාලේඛණය පිළිබදව අවදානය යොමු කිරිමේ දි එම ලිපියේ දෙවන පෙළෙහි “කළහ පවන මහ විහරහි අරි . . . . . . ” යනුවෙන් දැක්වේ. එනම් කාළහ පබ්බත විහාරයේ අරියවංශ දේශනාව සදහා යන්නයි.

සිධම ද  . . . . . . . (පිතහවය) . . . . . . .

කාළහ පවන මහ විහර හි අරි  . . . . . . . . 

. . . . . . . . . . . . . කහවන දින එකසිය

. . . . . . . . . . . . . . (අභයච) . . . . . . . 

අර්ථය

යහපතක් වේවා . . . . පුතාගේ . . . . . කළහ පර්වත මහා විහාරයෙහි ආරි(යවංශ සුත‍්‍ර දේශනාව සදහා) කහවනු සියයක් ලබා දි ඇත.

ශිලා ලිපියේ දෙවන ජේදයේ කළහ පවන මහ විහාරය යනුවෙන් සදහන්ව තිබිම වැදගත් සාධකයකි. මීට පෙර සදහන් කළ පළමු වන ශිලා ලේඛනයෙහි මෙම නම ඒ ආකාරයට ම භාවිත කර ඇත. මෙම ශිලා ලේඛනයේ මහා විහාරි යන වචනය සදහන් කර තිබීම තුළින් අතිතයේ කාළහ පබ්බත විහාර මහා විහාරයක තත්වයෙන් පැවතුන බව ගම්‍ය කරයි” (නාගොඩවිතාන 2016). වර්තමානයේ නයිගල විහාරයේ පැතිරි ඇති පුරාවිද්‍යා නටබුන් දෙස බලන විට මෙම ප‍්‍රකාශයේ ඇති සත්‍යතාව මනාව පැහැදිලි වේ. අක්කර 50ක පමණ භූමිභාගයක පැතිර ඇති ස්තූප 6ක පමණ නටබුන් අද ද වනගතව පවතී. නාග පොකුණ නමින් හැදින්වෙන දිගින් අඩි 110ක් පමණ විශාල ජලය නොසිදෙන පොකුණ සහ ගල්තලාව පුරාවට දක්නට ඇති කුඩා කුඩා පොකුණ ද මහානාග යුව රජු විසින් ඉදිකළා යැයි සැලකෙන පැරණි විහාරයේ නටබුන් ආදිය ඒ අතර වැදගත් වේ.

කාලපබ්බත විහාර හා සංස්කෘතික භූ දර්ශනය

දැනට මෙම විහාරස්ථානය පිහිටිමේ සංස්කෘතික භූ දර්ශනය පිළිබද අවධානය යොමු කිරිමේ දි කාලපබ්බත යනුවෙන් මේ විහාරය හැදින්වීම සිදුවන්නට ඇති බව සිතිය හැකි ය. කාලපබ්බත යන්නෙහි අර්ථය කළු වර්ණයෙන් යුත් පර්වතය යන්නයි. මෙම විහාරස්ථානයේ විහාර අංගවල පිහිටිමේ ස්වභාවය මැනවින් අධ්‍යනය කළහොත් විහාරස්ථානයට ඇතුළුවිමේ ප‍්‍රවේශ මාර්ගය වර්තමානයේ භාවිත වන මාර්ගය නොව ඊට ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් පවතින්නට ඇතැයි සිතිය හැකි ය. ප‍්‍රධාන ස්තූපය, අවශේෂ ස්තූපයන් 7 සියල්ල දක්නට ලැබෙන්නේ මෙම ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රවේශමාර්ගය හා සම්බන්ධව ය. වර්තමානයේ වුව ද ප‍්‍රදේශයේ වැඩි ජනගහනයක් සිටින ජනාවාස පවතින්නේ වර්තමාන ප‍්‍රවේශ මාර්ගයට ප‍්‍රතිවිරුද්ධ දිශාවේ තිබෙන ප‍්‍රවේශ මාර්ගය තිබෙන දිසාවේ ය. වර්තමාන වීරකැටියේ සිට රන්න දකුණට දිවෙන මාර්ගය මෑත කාලින ඉදිකිරිම් නිසා ක‍්‍රමිකව සිදු වු සංවර්ධනයන් සමඟ ගමනාගමන පහසුකම් හේතුකොට ගෙන එම විහාරයේ පැරණි ප‍්‍රවේශ මාර්ගයේ දිසානතිය වෙනස්කර ඇති බව සිතිය හැකි ය.

වර්තමාන ප‍්‍රවේශ මාර්ගයට (වීරකැටිය – රන්න) ප‍්‍රතිවිරුද්ධ දෙසින් තිබෙන ගම්මානවල සිට මෙම විහාරස්ථානය පිහිටි භූමි දර්ශනය දෙස බලන්නෙකුට පැහැදිලිව පෙනෙන්නේ කි‌ලෝ මීටර් 2ක් පමණ පැතිර තිබෙන කළුගල් තලාවයි. මෙලෙස දර්ශනය වන කළුගල් තලාව මත පිහිටා තිබෙන මෙම විහාරය ක‍්‍රිස්තු පූර්ව 3-4 සිට කාළහපබ්බත වෙහෙර යනුවෙන් ව්‍යවහාර කරන්නට ඇති බව සංස්කෘතික භූ දර්ශන අධ්‍යනයන් ඔස්සේ අනුමත කළ හැකි ය.

නයිගල’ නාමයේ ව්‍යවහාරය

යටත් විජිත පාලකයන්ගේ ග‍්‍රහණයට නතුවිමත් සමඟ මිෂනාරි ආගමික ව්‍යාපාරයන්වල ක‍්‍රියාකාරිත්වය සමඟ තවදුරටත් මෙම විහාරස්ථානය සතු උරුමය පමණක් නොව එම විහාරස්ථාන පිළිබද ජනතාව තුළ මතකය ද කාලයක් සමග වැළලි ගියේ ය. කාලපබ්බත විහාරයට සහ එම මුල් යුගයේ ව්‍යවහාර වු කාලපබ්බත යන නාමයට ද අත් වු ඉරණම මෙය ම විය.

දහහත්වන සියවසේ අගභාගය හා දහඅට වන සියවසේ මුල් භාගයේ දි පමණ දකුණු ප‍්‍රදේශයේ ආරම්භ වු බෞද්ධ පුනරුද ව්‍යාපාරයන් සමග මෙම විහාරස්ථානයේ බෞද්ධාගමික පසුබිම නැවත පුනර්ජිවනය ලැබිම ආරම්භ විය. වසර හාරසියක පමණ කාලයක් තුළ ජනතාවගෙන් ඇත් වි තිබු මෙම විහාරස්ථානයේ ඵෙතිහාසික කථාන්දරයේ දෙවන අදියර ආරම්භ වන්නේ මේ සමගයි. මෙහිදි පැරණි මුලාශ‍්‍රයාගත තොරතුරු බොහොමයක් අභාවයට ගොස් තිබු අතර 18 වන සියවසෙන් පසු නයිගල ඵෙතිහාසික පදනම ගොඩනැගෙන්නේ බොහෝ විට ජනප‍්‍රවාදගත තොරතුරු ඇසුරිනි. කාලපබ්බත වෙහෙර යන නාමය යටපත් වි නයිගල යන නාමය ව්‍යවහාරයට එන්නේ 18 වන සියවසේ ආරම්භයත් සමග බව සිතිය හැකි ය.

නයිගල වෙහෙර යන නාමය නාගයන්ගේ සබදතාවක් සමග නිර්මාණය වු බව ජනප‍්‍රවාදගත තොරතුරු අධ්‍යනයේ දී පැහැදිලි වන කාරණයකි. මෙම විහාරස්ථානයේ ආරම්භය සමග නාගයෙකු හා සම්බන්ධ ජනප‍්‍රවාදගත කථා ප‍්‍රවෘත්තියක් ගෙතී ඇත. මෙම විහාරස්ථානය ආරම්භ කලා යයි සැලකෙන මහානාග යුවරජු විරකැටියේ මණ්ඩාඩුව ගමේ මාලිගාවක් තනා පදිංචි වී සිටි අතර එක්තරා නියං කාලයක දි මාලිඟාව ඉදිරියට පැමිණි සුදු නාගයෙකු මාලිඟාව ළග සිට ආපසු හැරී යන්නට විය. රජු නාගයා පසුපස යන විට ඌ එක්තරා ගල්තලාවක් මත දී අතුරුදහන් වි ඇත. රජතුමා ඇතුළු පිරිස අවට සුපරික්ෂා කර බලන විට ජලය පිරුණු පොකුණක් දැක සතුටට පත්ව මෙම භුමීය මහා පුණ්‍යභූමියක් යැයි සිතා මෙහි විහාරස්ථානයක් ඉදිකිරිමට තීරණය කළ අතර එම විහාරස්ථානය නයිගල වු බව ජනප‍්‍රවාදගත මතවාදයයි. විහාරස්ථානයේ ආරම්භක අවධියේ සිටම මෙම ජනප‍්‍රවාදගත තොරතුරු එකල සමාජයේ පැවතුන ද නයිගල යන නාමය නොව කාලපබ්බත යන නාමය ව්‍යවහාර වන්නට ඇත. එසේත් නැතිනම් මෙවැනි ජනප‍්‍රවාදගත තොරතුරු 18 වන සියවසේ සමාජගත වන්නට ඇතැයි ද සිතිය හැකිි ය. විහාරස්ථානයේ බෝධිය අසල ඇති ගල් පර්වතයේ නාගයෙකුගේ රූපයක් කොටා තිබීම මෙම ජනප‍්‍රවාදගත තොරතුර සනාථ කරන සාධකයකි. නාග රූපයක් කොටා ඇති පර්වතය යන අර්ථයෙන් නයිගල යන නම ව්‍යවහාරයට පැමිණි බවද සිතිය හැකි ය. මෙම නාග රූපය විහාරස්ථානයේ ආරම්භක අවධියේ සිටම පැවතුනේ ද එසේත් නැතිනම් 18 වන සියවසෙන් පසු කාලීනව කොටන ලද්දක් ද ස්වභාවික ක‍්‍රියාකාරකම් හේතුකොට ගෙන නිර්මාණය වුවක් ද යන්න ගැන නිශ්චිත සාධක කිසිවක් සොයාගත නොහැක. නමුත් කාලපබ්බත යන්න භාවිත කරමින් ලියැ වි ඇති ගිරිලිපි දෙකේ බ‍්‍රාහ්මීය අක්ෂරවල ස්වභාවය අනුව ක‍්‍රිස්තු පූර්ව (3-4 හා 4-5) සියවස්වලට අයත් බව පැහැදිලි ය.

විහාරස්ථානයේ පාරම්පරිකව පැවත එන වෙදකම අද ද නොනැසී පවති. යටත් විජිත සමයේ ලංකාවේ බුදු සසුන පිරිහි පැවතුන යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශාසන පුනරුදයන් සමග 18 වන සියවසේ නයිගල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වුයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලැබු මුල්ගිරිගල විහාරාධිපති ධුරය දැරූ වටරක්ගොඩ ධර්මපාල හිමියන්ගේ පස්වන ශිෂ්‍ය වු කටුවන අත්ථදස්සි හිමියන් ය. උන් වහන්සේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වන්නේ ක‍්‍රිස්තු වර්ෂ  1,800 දී ය. ක‍්‍රිස්තු වර්ෂ 1908 දී පමණ මෙම විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වන දෙනගම ශිලානන්ද මාහිමියන්ගෙන් නයිගල වෙද පරම්පරාව ආරම්භ වේ. අග‍්‍රහැරේ සෝමරතන මාහිමියන් (1954) හරහා පැවත ආ නයිගල වෙද පරම්පරාවේ උරුමය රැක ගනිමින් තලාවේ නන්දසාර හිමියන් අදත් දේශිය වෙදකම ඉදිරියට ගෙන යමින් සිටියි. විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා යටතේ වර්ධනය වු මෙම පාරම්පාරික වෙදකම ප‍්‍රසිද්ධියක් ඉසුලූයේ වසවිෂ හා සර්ප විෂ සදහා ය. නාගයින් දෂ්ට කල  ඕනෑම පුද්ගලයෙකු එදා රැගෙන ආවේ නයිගල පන්සලට ය. නයි විෂට චිරප‍්‍රසිද්ධ වෙදකම දන්නා යතිවරයන් වැඩ සිටිම මෙම විහාරස්ථානයට  ව්‍යවහාර වන නයිගල නාමය සමඟ බැදී පවති. එම වෙද පරම්පරාවේ ආරම්භය 18 වන සියවසේ සිට ඇරඹුණු බැවින් මෙම විහාරස්ථානයට නයිගල යන නාමය ව්‍යවහාර වන්නට ඇත්තේ 18 වන සියවසෙන් පසුව බව සනාථ කරන තවත් සාධකයකි.

මෙම තොරතුරුවලට අමතරව නාගයන් හා බැදුණු ජනප‍්‍රවාදගත තොරතුරු විශාල ප‍්‍රමාණයක් මෙම විහාරස්ථානය සමඟ බැදි පවති. නයිගල නයි හැව මුළු රුහුණේම ප‍්‍රසිද්ධ කථා ප‍්‍රවෘත්තියකි. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුගේ සිරුර ආවරණය කල හැකි තරමේ අතිවිශාල නයිහැවක් මෙම විහාරස්ථාන භූමියේ තිබී හමු වී ඇති අතර ඒ කාලයේ නයිගල නයි හැව නමින් කවිකොළයක් ද නිර්මාණය කර එම නයි හැව ජනතාවට ප‍්‍රදර්ශනය කර ඇත. මෙම සිදු විම සියැසින් දුටු පුද්ගලයන් තවමත් මෙම විහාරස්ථානය ආසන්න ග‍්‍රාමයේ සිටිති. විශාල කැලෑබද ප‍්‍රදේශයක් තුළ පිහිටා ඇති මෙම විහාරස්ථාන භූමියේ දරුණු නාගයන්ගේ හැසිරීම සුලභ දර්ශනයකි.

මෙම ජනප‍්‍රවාදගත තොරතුරු 18 වන සියවසෙන් පසුව සමාජගත වී ඇතැයි සිතිය හැකි අතර එම තොරතුරුවලට අනුව මෙම විහාරස්ථානයට නයිගල වෙහෙර යන නාමය පටබැදී ඇති බවත් අතිතයේ මෙම විහාරස්ථානය සදහා භාවිත වු නාමය වන්නේ කාලපබ්බත යන නාමය බවත් තහවුරු වේ. නයිගල ඵෙතිහාසිකත්වය සැබෑ ලෙස ඉදිරියට ගෙන යාමට නම් කාල පබ්බත විහාරය යන නාමය නැවත ව්‍යවහාරය සදහා සමාජගත කිරිම යෝග්‍යය දෙයකි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්කිත පඩිතුමා (1994), මහාවංශය, රත්න පොත් ප‍්‍රකාශකයෝ.
  • කොත්මලේ අමරවංශ හිමි (1969), ලක්දිව සෙල්ලිපි, එම්.ඩි.ගුණසේන සමාගම.
  • නාගොඩ විතාන, බුද්ධි (2015), රුහුණු ඉතිහාසයට නව තොරතුරු ගෙනෙන වීරකැටිය නයිගල රජමහා විහාරයේ අප‍්‍රකාශිත ගිරි ලිපි දෙකක්.
  • විජේවර්ධන, එස්.එන් හා ඩි.එම්.එස්.ඩි. බණ්ඩාර, සමාජීය විද්‍යා ප‍්‍රවේෂය, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සෝරත, අලුත්වැ‌වේ (2002), බෞද්ධ රෝහණය, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.1.14 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

ඓතිහාසික මුල්ගිරිගල රජ මහා විහාරය

එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

දකුණුදිග වෙරළබඩ තැනිතලාවේ දකුණු දෙසින් පිහිටි ශේෂ කඳු අතරින් උසම කන්ද ලෙස සැලකෙන මුල්ගිරිගල කන්දේ ස්වභාව සෞන්දර්යය වඩාත් ඔපවත් කොට ඇති පුද බිමකි,  මුල්ගිරිගල රජ මහා විහාරය.

මෙහි ඇති ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට පමණ අයත් වෙතැයි සැලකෙන අක්ෂර වලින් ලියැවුණු ශිලා ලේඛනයක දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු ගැන සඳහන් වී ඇතැයි කියවෙන බැවින් මෙය ඒ කාලයේ සිටම පැවත එන පුද බිමක් ලෙස සැලකේ. වංශ කතාවලට අනුව  ක්‍රිස්තු පූර්ව 2 සියවසේ පමණ කාවන්තිස්ස රජු ඉදිකළ බව පැවසෙන හැට හතරක් විහාරාම අතරින් සමුද්‍රගිරි විහාරය ලෙස හැඳින්වෙන්නේ මෙය යයි විද්වතුන් සලකති.

DSC02484

දැනට දක්නට ලැබෙන මේ විහාරස්ථානය තුන් වන සියවසේ රජකළ ජෙට්ඨතිස්ස රජු විසින් ආරම්භ කල බව කියවෙන අතර එය ධාතුසේන, වළගම්බා හා කිර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරුන්ගේ රාජ්‍ය කාලවලදීත් සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කළ බව පෙනෙන්නට ඇත.

මුල්ගිරිගල විහාර සංකීර්ණය පිහිටා ඇති කඳු ගැටය හෙල්මළු ගණනාවකින් හා ගල්ලෙන් 25කින් පමණ සමන්විත වෙයි. ඉන් මළු පහක ඇති ගල්ලෙන් හතක් විහාර මන්දිර බවට පත්කොට ඇත.

මේ විහාර සංකීර්ණයේ පහළින් ම ඇත්තේ සියඹලා මළුවයි. එහි මුල්ගිරිගල කෞතුකාගාරය, පන්සල හා විශ්‍රාම ශාලාව පිහිටා ඇත.

DSC02502

පහළ මළුව

සියඹලා මළුවට ඉහළින් පහල මළුව පිහිටා ඇත. එහි ස්ථුපයක්, බෝධියක්, රජ මහා නාලෙන් විහාරය, පදුම රහත් විහාරය, පැරණි සිමා මාලකය, භාණක ලෙන, සෙල් ලිපිය හා ගිරි ලිපිය ආදිය ඇත.

DSC02507
ගිරි ලිපිය පිළිබඳ විස්තර දැක්වෙන පුවරුව
DSC02506
පැරණිම කාලයට අයත් ‌ලෙන් ලිපියක්
DSC02503
බෝධීීීීන් වහන්සේ
DSC02490
රජ මහා නාලෙන් විහාරය
DSC02488
සමන්, කතරගම, විෂ්ණු හා විභීෂණ දෙවිවරුන්ගේ රූප

රජ මහා නාලෙන් විහාරය 1808 දී කළ බව සඳහන් ‌වේ. මේ තුළ උඩරට පිළිම සම්ප්‍රදාය අනුව නෙළූ බුදු රජාණන් වහන්සේගේ ඔත් පිළිමයක්, දකුණුපස බිත්තියේ සමන්, කතරගම, විෂ්ණු හා විභීෂණ දෙවිවරුන්ගේ රූප හා සිවිලිමේ සූ විසි විවරණ සිතුවම් කොට ඇත.

DSC02494
පදුම රහත් විහාරය

DSC02489DSC02491

DSC02499
තෙලපත්ත හා වෙස්සන්තර ජාතක කතා
DSC02498
තෙලපත්ත හා වෙස්සන්තර ජාතක කතා

පදුම රහත් විහාරය තුළ ද උඩරට පිළිම සම්ප්‍රදාය අනුව නෙළූ බුදු රජාණන් වහන්සේගේ ඔත් පිළිමයක් නෙලා ඇත. පිළිමය ඉදිරිපස බිත්තියේ තෙලපත්ත හා වෙස්සන්තර ජාතක කතා සිත්ගන්න සුළු ආකාරයෙන් සිතුවම් කොට ඇත.

මැද මළුව

DSC02508

DSC02567

DSC02568DSC02569DSC02570DSC02571DSC02572

මැද මළුවෙහි ද ඔත් පිළිමයක් සහිත කුඩා ලෙන් විහාරයක්, බෝධියක්, ස්ථුපයක් හා සංඝාවාසයක් ඇත. මේ ලෙන් විහාරය තුළ හිමාල වනය, උතුරුකුරු දිවයින හා අනෝතප්ත විල ආදිය සිතුවම් කර ඇත.

රජමහ විහාර මළුව

මී ළඟට ඇත්තේ රජමහ විහාර මළුවයි. මේ මළුව තුළ ලෙන් විහාර හතරකි. මුළින්ම බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම දැක්වෙන ඔත් පිළිමය සහිත විහාර ගෙයයි. එහි පිරිනිවන් පෑම පිලිබඳ සිතුවම් ඇඳ ඇත.

DSC02542DSC02545DSC02547DSC02549

ඊට මඳක් ඉහලින් පරණ විහාරේ හෙවත් රජමහ විහාරේ පිහිටා ඇත. මෙහි ද ඔත් පිළිමයක් හා පද්මාසන මත අභය මුද්‍රාවෙන් නෙලා ඇති හිටි පිළිම වහන්සේලා අට නමකි. බිත්තිවල තෙලපත්ත ජාතකය, සිවි ජාතකය හා සොලොස්මස්ථානය දැක්වෙන  සිතුවම් ය.

DSC02517DSC02518DSC02521DSC02523DSC02525DSC02532DSC02540

ඊළඟට ඇත්තේ අලුත් විහාරය නමින් හැඳින්වෙන විහාරයයි. මෙහි ඇතුළුවන දොරටු දෙක දෙ පස සතර වරම් දෙවි වරුන්ගේ රූප අඹා ඇත. මෙහි ද ඔත් පිළිම, හිඳී පිළිම හා හිටි පිළිම දක්නට ලැබේ. බෝධිසත්ව පිළිමයක් ද මෙහි වෙයි.

නාග විහාරය

DSC02516
පොකුණ

DSC02511DSC02515

මේ මළුව කෙලවර මෑත කාලයේ දී කරවන ලද නාග විහාරය පිහිටා ඇත. මෙහි ද ඔත් පිළිමයක් හා ඉඳී පිළිමයකි. මේ විහාරය ඉදිරිපස පොකුණක් ද ඇත. මේ විහාරය හා පොකුණ පිලිබඳ බොහෝ ජනප්‍රවාද පවතී.

උඩහ මළුව

DSC02551

උඩහ මළුවේ ස්ථුපයක්, දෙ තිස් පලරුහ බෝධිය, ඝණ්ටාර කුළුණක් ආදිය ඇත.

DSC02552

DSC02554
උඩ මළුවට පිවිසෙන පියගැට පෙළ
DSC02555
උඩ මළුවේ ස්තුපය
DSC02561
උඩ මළුවේ බෝධිය

DSC02560

මුල්ගිරිගල බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත්තේ එහි දක්නට ලැබෙන මනරම් බිතුසිතුවම් නිසාවෙනි. ක්‍රිස්තු වර්ෂ 1732 දී පමණ මෙහි පැමිණි ඉතිහාසඥයෙකු වන ජර්මන් ජාතික වුල්ප්ගැන් හයිඩ්ට් (Wolfgang Hydt) මහතා  විදේශික චිත්‍ර ශිල්පියෙකු ලවා සමහර සිතුවම් පිටපත් කරවා ගෙන ඇත.

ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ විලියම් ඩැනියෙල් (William Daniell) මහතා (1769–1837) විසින් මුල්ගිරිගල ආශ්‍රිතව අඳින ලද සිතුවමක් යටත්විජිත සමයේ ආණ්ඩුකාරයාගේ නිවසේ තබාගෙන සිට ඇත. පසුව ජනාධිපති නිවස භාරයේ  තිබු මේ සිතුවම අවතැන්විම පිළිබඳව විශාල ආන්දෝලනයක් ද ඇති විය.

දැනට දක්නට ලැබෙන මුල්ගිරිගල සිතුවම් 18 වන සියවසෙන් පසුව අඳින ලද ඒවා ය. පදුම රහත් විහාරයේ ඇති තෙලපත්ත, වෙස්‌සන්තර යන ජාතක කතා 19 වන සියවසේ මැද භාගයේ පමණ සිතුවම් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මුල්ගිරිගල සිතුවම් සම්ප්‍රදායන් කීපයකට නෑකම් කියන බව පෙනේ. දීප්තිමත් වර්ණයන්ගෙන් අඳින ලද සමහර සිතුවම් මහනුවර සම්ප්‍රදායට අයත් ය. මහනුවර දෙවරගම්පල සිල්වත් තැන හා කටුවන සිල්වත් තැන සමහර සිතුවම් නිමකොට ඇති බවට මතයක් වේ.

මහනුවර යුගයේ දී අඳින ලද සමහර  මුල්ගිරිගල සිතුවම් තුළ මහනුවර සම්ප්‍රදාය ඉක්මවා ගිය විශේෂ ලක්ෂණ දැකිය හැකි ය. මිනිස් රූපවල ඉරියව් ඉතා තාත්විකව හා සෞන්දර්යාත්මක අගය ඉස්මතුවන ආකාරයෙන් නිරුපනය කොට ඇත. ඉන් පෙර යුගවල සිතුවම් අතර දක්නට නොලැබෙන ආකාරයේ තේමා සහිත සිතුවම් එලි දැක්වීමට මුල්ගිරිගල ශිල්පින් සමත් වී ඇත. එමෙන්ම, ඒවායේ වර්ණ රටා උඩරට සම්ප්‍රදායෙන් බැහැර වී රුහුණට විශේෂිත වූ වර්ණ රටාවකින් හැඩගැන් වී ඇත. තෙලපත්ත ජාතකයේ පෙරහර ජවනිකාව, වාදකයන්ගේ ගේ සිතුවම්, බෙරයක් වයන කාන්තාව ආදී චිත්‍ර ඊට උදාහරණ ලෙස දැක්විය හැකිි ය. එමෙන්ම, රුහුණට ආවේනික ආහාර වර්ග ද, (කිරිපැණි, කෙසෙල්) නැටුම් ශිල්පීන්ගේ ඇඳුම් ආදිය ද එම සිතුවම් තුළ දැකිය හැකි ය.

DSC07221DSC02531DSC02529DSC02528DSC02527

සමහර සිතුවම් වලට යුරෝපිය අභාෂය ලැබී ඇතිබව පැහැදිලි ය. සිතුවම් වල දක්නට ලැබෙන සංකීර්ණ වර්ණාවලිය, මල් සහිත කොළවලින් සැදි රටා, සිතුවම් වල දැක්වෙන ගොඩනැඟිලි, තාත්වික ත්‍රිමාන දර්ශන, රාමුවකට සීමා වූ සිතුවම් ආදිය උදාහරණ ලෙස දැක්විය හැකි ය.

DSC02538

DSC02536
මල් සහිත කොළවලින් සැදි රටා

මේ විහාරවල දක්නට ලැබෙන මකර තොරණ දොරටුපාල රුප ඇතුළුවන හා දොරටුවල ඇඳ ඇති රූ කම් ද මනරම් ය.

DSC02530
දොරටුවල ඇඳ ඇති රූ

18 වන ශතවර්ෂය වනවිට වල් බිහි ව තිබූ මුල්ගිරිගල රජ මහා විහාරය වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ නායකත්වයෙන් නැවත ප්‍රතිසංස්කරණය කොට ඇත. කරතොට ධර්මාරාම නා හිමියන්ගේ කාලයේ දී ලන්දේසීන්ගේ අනුග්‍රහය ද ලබාගෙන ඇත.

1972 දී පමණ සීගිරියේ විනාශ කළ බිතුසිතුවම් ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි මහතා මුල්ගිරිගල සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා ද දායක වී ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 670ක් පමණවූ උස ගල් පර්වතයක පිහිටි මුල්ගිරිගල රජ මහා විහාරය පියගැට 550ක් පමණ තරණය කොට වන්දනාවේ යන බොදු බැතිමතුන්ට අගනා පින් බිමකි, සෞන්දර්යය සොයා යන සංචාරකයනට අගනා කලාගාරයකි.

DSC02565DSC02566mulgirigala

---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.01.07 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

‘හෙළ ‌බොදු හැදියාවේ බිහිදොර : මිහින්තලාව’ කෘතිය ගැන අදහසක් ….

එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දිවයිනේ ජීවත් වූ මානවයාගේ ක්‍රමවත් සංස්කෘතික හැදියාවට ඉමහත් යහපත් බලපෑමක් සිදුකරනු ලැබුවේ දෙ වන පෑතිස් රජ සමයේ දඹදිව අධිරාජයා වූ ධර්මාශෝක රජතුමා සිය පුත් මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දුත පිරිසක් ලංකාවට එවීමයි. මේ ධර්ම දුත පිරිස දෙ වන පෑතිස්‌ රජතුමා හමු වූයේ වර්තමාන මිහින්තලා‌වේ දි ය. ධර්මය දේශනා ක‌ළේ හා ස්වාමින් වහන්සේලා වැඩවාසය කලේ මිහින්තලයේ ය. එහෙයින් හෙළ හැදියාවේ බිහිදොර වූයේ මිහින්තලයයි.

හෙළ හැදියාව කුමක්දැයි වටහා ගැනීමට වාරි කර්මාන්තය, ඉංජිනේරු ශිල්පය කලාව සන්නිවේදනය ආදිය ජනජීවිතය අර්ථවත් කිරීමට අපගේ මුතුන්මිත්තන් යොදා ගත්තේ කෙසේදැයි සොයා බැලිය යුතු ය. මේ කරුණු සොයා බැලීම සඳහා ලංකාවේ බුදු දහම ප්‍රචලිත කිරීමට මුල් වූ බිමේ පිහිටි පුරාවිද්‍යාත්මක නටබුන් මහඟු පිටිවහලක් සපයයි.

සම්ප්‍රදායිකව මිහින්තලේ වන්දනා කරන සැදැහැති බෞද්ධයෝ වන්දනීය ස්මාරකයන් කෙරෙහි භක්තියෙන් වැඳුම්පිදුම් කිරීම හා අවට ස්වාභාවික සෞන්දර්යය නැරඹීම හැරෙන්නට තමන්ගේ හැදියාව පිළබඳව ආඩම්බර විය යුතු මන්දැයි ජීවමාන සාක්ෂි සපයන මේ පුදබිම පිළබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා නොගනිති. කණගාටුවකට මෙන් ඒ සඳහා පැහැදිලි මගපෙන්විමක් ද වන්දනා කරුවනවට නොලැබේ.

මේ අඩුපාඩුව සපුරාලන මහඟු කෘතියක් මට කියවන්නට ලැබිණ. ඒ,  ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන චන්දිම බණ්ඩාර අඹන්වල මහතා හා මිහින්තලේ, පුරාවිද්‍යා කෞතුකාගාරයේ ස්ථාන භාර නිලධාරි ගාමිණි සමරනායක මහතා  විසින් රචිත “හෙළ බොදු හැදියාවේ බිහිදොර මිහින්තලාව” නම් මාහැඟි කෘතියයි.

මිහින්තලේ පුද බිම පිළිබඳව ඓතිහාසික තොරතුරු, මේ පුද බිමේ අප ඇස ගැටුණු හා නොගැටුණු ස්ථාන පිලිබඳ විස්තර, මේ පරිශ්‍රයේ ඇති ශිලාලේඛන හා අවට ඇති අනෙකුත් පෞරාණික වැදගත් ස්ථාන පිළිබඳව ඉතා පැහැදිලි හා විස්තරාත්මක තොරතුරුවලින් මේ ග්‍රන්ථය පරිපුර්ණ කොට ඇත.

80කට වැඩි පොත් හා නිබන්ධන පරිශීලනය කිරීමෙන් හා විද්වතුන් හා නායක ස්වාමින් වහන්සේලා රැසක් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා ආදියෙන් රැස් කරගන්නා ලද කරුණු, මිහින්තලා පුදබිම සිසාරා ගවේෂණය කොට තහවුරු කොට ගෙන ඒවා වඩාත් පැහැදිලි කිරීම සඳහා ඒ ඒ ස්ථාන වල දී  ලබා ගන්නා ලද ඡායාරුප සියගණනක් ඇතුළු කොට මේ කෘතිය රචනා කොට ඇත.

මිහින්තලා පරිශ්‍රයේ ඇති නටබුන් හා ස්මාරක දැකබලා ගන්නට යා යුතු ගමන් මග පියවරෙන්පියවරට විස්තර කොට තිබීම ඉතා වැදගත් කාර්යයක් ලෙස දකිමි. එය අනුගමනය කොට මිහින්තලේ සංචාරයේ යෙදුනොත් වැදගත් සියලු ස්මාරක එකක්වත් මග නොහැරෙණු ඇත. ඒ ස්මාරක වල ස්වභාවය ඒවායේ වැදගත්කම හා විශේෂ අවධානය යොමුකළ යුතු දේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබීම නිසා මග පෙන්වන්නේකුගේ සහයක් නොමැතිවම ඕනෑම කෙනෙකුට සියලු ස්මාරක ගැන ස්වයං අධ්‍යයනයක් කළ හැකි ය. කණ්ඨක චේතිය, සිංහ පොකුණ ආදී නොයෙක් ස්ථාන වල දක්නට ලැබෙන කැටයම් හා කලා නිර්මාණ පිළිබඳව ඡායාරූප සහිතව ඉදිරිපත් කොට ඇති කරුණු කලා ලැදි හැමගේ සතුටට හේතුවනු නොඅනුමාන ය.

මිහින්තලේ දක්නට ලැබෙන ශිලාලේඛන ආදිය ගැන පින්තුර සහිතව සියලු තොරතුරු ඉදිරිපත් කොට තිබීම නිසා මේ පොත ඓතිහාසික තොරතුරු ගවේෂණය කරන්නන්ට මහඟු අත් වැලක් වනු නොඅනුමාන ය.

මිහින්තලය ගැන ගැඹුරින් හදාරා බොහෝ කරුණු එක්රැස්කොට අපේ හැදියාවේ අක්මුල් පිළිබඳ ව ලබා ගත් දැනුම විද්‍යාර්ථින් මෙන්ම පොදු මහජනයා වෙත ද එක සේ ප්‍රයෝජනවත් වන ලෙස සිත්ගන්නාසුළු ආකාරයෙන් ඉදිරිපත් කරමින් අපේ අභිමානය කුළුගැන්වීම සඳහා අඹන්වල මහතා හා සමරනායක මහතා ඔවුන්ගේ යුතුකම ඉටුකොට ඇත.

මිහින්තලය හරිහැටියට බැලීම අපේ යුතුකමයි.


වට්ටම් සහිතව ‘මිහින්තලාව’ කෘතිය මිළ දී ගැනීම සඳහා . . . .

---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.01.02 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
---------------------------------------------------------------------------------

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් අනාවරණය වි ඇති සාධක පිළිබඳ අවලෝකනයක්

චන්දිම බණ්ඩාර අඹන්වල

ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව

චන්දිම අඹන්වල

[2018.11.13 වැනි අඟහරුවදා දිනපතා ලංකාදීප පුවත්පතේ ‘වීමංසා සාහිත්‍ය සංග‍්‍රහයේ’ 2 වැනි පිටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එන්.ඒ. විමලසේන හෑලෝගම මහතා විසින් ‘ශ‍්‍රී ලාංකික බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ යන හිසින් යුතුව පළකර තිබූ ලිපිිය සඳහා පිළිතුරු ලිපියකි. පිළිතුරු ලිපිය සාපේක්ෂව දිගුබව හේතුවෙන් අදාළ පුවත්පතේ ඉඩ සපයා ගැනීම අපහසුතාව නිසා www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළකරන බව කාරුණික ව සලකන්න.]

පසුගිය 2018 නොවැම්බර් මස 13 වැනි අඟහරුවදා දිනපතා ලංකාදීප පුවත්පතේ ‘වීමංසා සාහිත්‍ය සංග‍්‍රහයේ’ 2 වැනි පිටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එන්. ඒ. විමලසේන හෑලෝගම මහතා විසින් ‘ශ‍්‍රී ලාංකික බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ යන හිසින් යුතුව ලංකාවේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ආරම්භය පිළිබඳ අදහස් දැක්වෙන ලිපියක් පළ කර තිබිනි. 1980 දශකයේ අඟ භාගයේ දී ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසින් අනුරාධපුරයේ ඇතුළු නගරයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් මඟින් අනාවරණය වූ මැටි බඳුන් මත සටහන් කළ බ‍්‍රාහ්මී අක්‍ෂරයන්ගේ පෞරාණිකත්වය ක‍්‍රිස්තු පූර්ව 2 වැනි සියවසින් ඔබ්බට ගමන් කළ නොහැකි බව මෙම ලිපියෙන් පෙන්වා දීමට උත්සාහ කර තිබිනි. එ බැවින් අපගේ ලිපිය මඟින් විමලසේන හෑලෝගම මහාචාර්ය තුමා විසින් ඉදිරිපත් කළ ලිපියේ අන්තර්ගත අදහස් කීපයක් පරික්‍ෂා කිරීමටත් එම කරුණුවල ඇති යෝග්‍යතාව පිළිබඳවත් සාකච්ඡා කිරීමටත් අපේක්‍ෂා කරනු ලැබේ. පූර්ව ලිපියේ අදහස් ගොනුකර ඇති අනුපිළිවෙළ අනුව ම මෙම ලිපියේ දී පැහැදිලි කිරීම් ඉදිරිපත් කරනු ලැබේ.

විමලසේන හෑලෝගම මහාචාර්යතුමා තම ලිපිය ”ලක්දිව බ‍්‍රාහ්මී අක්‍ෂර කිනම් වකවානුවක මුලින්ම භාවිත වී ද යන්න තවමත් නොවිසදී ඇති ප‍්‍රශ්නයකි” යනුවෙන් දක්වා අවසානයේ දී ”මේ අනුව ශ‍්‍රී ලාංකේය බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය පුරාවිද්‍යාත්මක සාධක අනුව ක‍්‍රි.පූ. හයවැනි ශතවර්ෂයෙහි නොව මහින්දාගමනය සි දු වූ ක‍්‍රි.පූ. තෙවැනි ශතවර්ශය බව සඳහන් කළ යුතුය” යනුවෙන් දක්වයි. මෙම ප‍්‍රකාශ දෙක එකිනෙක සංගත ‌‌නොවේ. එපමණක් නොව මෙයින් පළමු වැන්න ද සාවධ්‍ය අදහසක් බව අපගේ ලිපියේ ඉදිරියේ දී පෙන්වා දෙනු ලැබේ. මේ වන විට පිළිගත් පුරාවිද්‍යාත්මක ක‍්‍රම අනුව බ‍්‍රාහ්මී අක්‍ෂරයන්ගේ භාවිතය පිළිබඳ ඇති ගැටලුුව සැකයකින් තොරව සමර්ථනය වී ඇත. තවත් අතකින් ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව ජාතික මටට්මෙන් හෝ පිලිගත් පුරාවිද්‍යාත්මක ක‍්‍රමවේද පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ඇති අයෙකුට අනුරාධපුරයේ ඇතුළු නුවරින් අනාවරණය වී ඇති බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත නියැදීන්වල පෞරාණිකත්වය පිළිබඳ අදහස පිළිගැනීම කිසිසේත් ම ගැටලුු සහගත නොවේ.

බ‍්‍රාහ්මී ලේඛනයන්ගේ පෞරාණිකත්වය පිළිබඳ ”ලංකාවේ දක්නට ලැබෙන පැරණිම සාහිත්‍ය සහ අභිලේඛන සාක්ෂි ආශ‍්‍රය කරගෙන මේ පිළිබඳ නිගමනයකට පැමිණිය යුතුව ඇත” යනුවෙන් හෑලෝගම මහතා දක්වන අතර වර්තමානයේ වර්ධිතව ඇති මානව අතීතය සොයා බැලීමේ ශික්‍ෂණයන්ගේ ක‍්‍රමවේද අනුව එවැන්නක් සඳහා පවතින එකම ක‍්‍රමය එය පමණක් නොවන බවත් ලොව පුරා මෙවැනි අධ්‍යයන සඳහා විවිධ ක‍්‍රම වර්ධනය කර භාවිත කළ හැකි බවත් දැක්විය යුතු ව පවතී.

විමලසේන හැලෝගම මහාචාර්යතුමා තම ලිපියේ මුල් කාර්තුවේ දී ලංකාවේ මහින්දාගමනයට පූර්ව කාලයේ දී පැවති ලේඛන පිළිබඳ ව සාධක ගණනාවක් පෙළ ගස්වා දක්වා ඇති අතර එම කරුණු අනෙක් අතට එතුමාම දක්වන අදහස් වල ප‍්‍රතිපක්ෂය වීම පමණක් නොව සිරාන් දැරණියගලයන්ගේ මතයට පක්‍ෂපාති කරුණු වීම ද දෛවෝපගත ය. දැරණියගල ආචාර්යතුමා විසින් දක්වා ඇති මතයට අනුපාත එම කරුණු මෙම ලිපියේ නැවත ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැත. මහාවංසයේ දැක්වෙන දුටුගැමුණු රජු විසින් මහාථූපය කරවන ලද බව සඳහන් කර දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලදැයි සැලකෙන ගල්ටැම් ලිපිය (තවම සොයාගෙන නැතත්) බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් සටහන් කරන ලද පැරණිම ලිපිය විය හැකි බවට හෑලෝගම මහාචාර්යතුමා පෙන්වා දීමට උත්සාහ කරන අතර එවැනි ලිපියක් පැවතියා නම් එහි අක්‍ෂර නිශ්චිතව බ‍්‍රාහ්මි අක්‍ෂර විය හැකි බවත් එම ලේඛනය පැරණිම ලේඛනය විය හැකි බවත් නිගමනය කරන ලද්දේ කෙසේද යන්න පැහැදිලි නැත. එබැවින්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන තෙක් එකී අදහස හිතලුුවක් වශයෙන් සැලකීමට සිදු වේ.

ලංකාවේ අභිලේඛන විද්‍යාව පිළිබඳ ව විශිෂ්ට ප‍්‍රාඥයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් මහාවංසයේ දැක්වෙන උත්තිය රජු හා සම්බන්ධයක් පෙන්වතැයි නිගමනය කරන ලද ගුහා ලිපිවලින් තුනක් තෝරාගෙන හෑලෝගම මහතා තම අදහස් දක්වා ඇත. එම පැරණිම ලිපි අයත් උත්තිය රාජ සමය (ක‍්‍රිස්තු පූර්ව 209-200 (?)) හෝ අවම වශයෙන් ක‍්‍රිස්තු පූර්ව තෙ වැනි සියවසේ අවසන් කාලයෙන් ඔබ්බට ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන ගමන් කළ නොහැකි බව දක්වා තිබීමෙන් හෑලෝගම මහාචාර්යතුමා ලංකාවේ අභිලේඛනයන්ගේ පෞරාණිකත්වය පිළිබඳ පූර්ව නිශ්චිත නිගමනයට එලැඹි සිටින බව තහවුරු කර දක්වයි. ලංකාවේ පවත්නා 2,000කට අධික පැරණිම ගුහා ලිපිවල පිටපත් පමණක් අධ්‍යනය කිරීමෙන් නොනැවතී එම ලේඛන පිහිටි ස්ථානයන්ගේ දී ම ඒවා පිළිබඳ ව ප‍්‍රමාණවත් අවධානයක් යොමු කරන විට පෙනී යන්නේ ඉහත දැක් වූ සෙල්ලිපි මහාවංශයේ දැක්වෙන රජවරු සමඟ ගැලපිය හැකි නමුත් ඊටත් වඩා පැරණි අභිලේඛන රැසක් ම ඒවා අතර පැවතිය හැකි බවයි. සමහර ස්ථානවල ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි හා දෙ වැනි සියවස් කාලයට නිශ්චිත වශයෙන් අයත් කළ හැකි ලෙන්ලිපිවලට යාබ ද ව අවම වශයෙන් ඊට වඩා වසර දෙතුන් සියයක් හෝ පැරණි ගුහා ලිපි පවතින බව පෙනී යයි. ලංකාවේ පැරණිම සෙල්ලිපි අතුරින් සාතිශය බහුතරය බුදුදහම සමඟ සබඳතාවක් දක්වන නමුත් එ වැනි සබඳතාවක් හඳුනාගත නොහැකි, අදාළ ලෙන්වල අයිතිය පමණක් හඟවනු ලබන, ඉතාම පැරණි ලක්‍ෂණ සහිත බ‍්‍රාහ්මී ලේඛන පැවතීමත් මෙම අදහස සඳහා අනුබල සැපයේ. මෞර්ය අසෝක අධිරාජයාගේ අදහස් ඇතුළු කරමින් සංග‍්‍රහ කර ඇති අශෝක ධර්ම ලිපි හා ඒවායේ කාල නීර්ණය සම්බන්ධයෙන් අභිලේඛනඥයින් හා ඉතිහාසඥයින් සැකයක් උපදවා නොමැති අතර ඒවායේ තථ්‍යතාව පොදුවේ පිළිගැනි ඇත. ඒ ලිපි වල සැලැස්ම හා අන්තර්ගතය පිළිබඳ සලකා බලන විට මැනවින් සංවිධානය කරන ලද සංකීර්ණ අදහස් කිසිදු බාධාවකින් හෝ අඩුවකින් තොරව ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. ඒ අනුව, හෑලෝගම මහාචාර්යතුමාගේ නීර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ ප‍්‍රභවය වූ අක්‍ෂර මාලාවක් කෙටි කාලයක් තුළ මෙතරම් වර්ධනීය තත්ත්වයක් අත්කරගත් ආකාරය පහදා දෙන්නේ නම් ඵලදායි බව ද අවධාරණය කරනු කැමැත්තෙමි. පසුගිය කාලයේ දී කල්තොට නිම්ණයේ සිදුකරන ලද ගවේෂණ තුළ දී මහින්දාගමනය පෙර කාලයට අයත් බ‍්‍රාහ්මී ලේඛන ගණනාවක් අනාවරණය කරගත හැකි වූ බව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා අනාවරණය කර තිබුණු බවත් මෙහි දී සඳහන් කිරීම ඒ පිළිබඳ උනන්දු පාඨකයාට වැදගත් වනු ඇත.

විමලසේන හෑලෝගම මහාචාර්යතුමාට අනුව, ”ලංකාවේ බ‍්‍රාහ්මී අක්‍ෂරවල ප‍්‍රභවය ලෙස ඉතිහාසඥයින්ගේ මතය වනුයේ ක‍්‍රි.පූ. තෙවැනි සියවසයි” මෙම වාක්‍යයෙන් ප‍්‍රකාශ වන ආකාරයට බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ප‍්‍රභවය ලබා ඇත්තේ ලංකාවේ ද? අභිලේඛනඥයින් හා පුරාවිද්‍යාඥයින් බහුතරයකගේ අදහස වන්නේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය ඉන්දියානු භූමියේ දී සිදු වීමට වඩා වැඩි ඉඩප‍්‍රස්ථාවක් පවතින බවයි. නමුත්, ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළැඹීම විධිමත් ව සිදුකරන ප‍්‍රශස්ථ අධ්‍යයනවලින් අනතුරුව පමණක් සිදුකළ යුතු වේ. එතෙක් අපට කථා කළ හැක්කේ බ‍්‍රාහ්මී අක්‍ෂරවල භාවිතයේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් පමණි.

ආචාර්ය සිරාන් දැරණියගල

මුල් ලිපියේ දැක්වෙන තාක්‍ෂණික වැරදි කීපයක් ද නිවැරදි කළ යුතුව ඇත. හෑලෝගම මහාචාර්යතුමාට අනුව, ආචාර්ය සිරාන් දැරණියගල මහතා මෑතක් වන තුරු ‘පුරාවිද්‍යා කොමසාරිස්’ ධූරය දරා ඇත. නමුත් පුරාවිද්‍යා කොමසාරිස් තනතුරු 1990 දී අවලංගු වී එයින් පසු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර සක‍්‍රීය විය. ඒ අනුව ආචාර්ය සිරාන් දැරණියගල මහතා ක‍්‍රියා කරන ලද්දේ ‘පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්’ තනතුරේ වන අතර 2001 වසර වන විට එතුමා එම තනතුරින් විශ‍්‍රාම ලැබී ය. ආචාර්ය දැරණියගල මහතා විසින් මහාපාළි දානශාලාව ඇතුළුව අනුරාධපුරයේ ඇතුළු නගරයේ අනෙකුත් ස්ථානවල සිදුකරන ලද කැනීම්වලින් ලද මැටි මෙවළම් වර්ග කිරීම අදින් වසර 30කට ආසන්න පෙර කාලයක දී එනම් 1985 වසරේ දී අරඹා 1989 වසරේ දී එය අවසන් කළ අතර මහාචාර්ය හෑලෝගම මහතා දක්වන ආකාරයෙන් ඒ ද මෑත දිනයක් නොවේ. අනුරාධපුර ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ 1988 වසරේ දී සිදුකරන ලද (ASW (88)) කැනීමේ දී බ‍්‍රාහ්මී අක්‍ෂර සඳහන් මැටි බඳුන් කොටස් දෙකක් හමු වූ බව හෑලෝගම මහාචාර්යතුමා දක්වා ඇතත් එය ද අසම්පූර්ණ අදහසකි. අනුරාධපුර මහාපාළි දානශාලාව ආසන්නයේ 1988 සිදුකරන ලද කැනීමේ සන්දර්භ අංක 75 මඟින් බ‍්‍රාහ්මී අක්ෂර සහිත නිදර්ශක 5ක් හා අනුරාධපුර ඇතුළුනුවර සල්ගහවත්ත ස්ථානයේ 1988 වසරේ දි සිදුකරන ලද කැනීමේ 88 වැනි සන්දර්භයට අයත්ව බ‍්‍රාහ්මී ලේඛන අන්තර්ගත මැටි බඳුන් කැබලි දෙකක් වශයෙන් බ‍්‍රාහ්මි අක්‍ෂරයෙන් සටහන් කළ මැටි බඳුන් කැබලි 7ක් ලැබී ඇත. උක්ත ලිපියේ දක්වන නිදර්ශකයන්ගේ කාලනීර්ණය සම්බන්ධයෙන් හෑලෝගම මහතා දක්වන කාලනීර්ණයන් පිළිබඳ ව මෙම ලිපියේ ඉදිරියේ දී තවදුරටත් කරුණු දැක්වීමට අපේක්‍ෂා කෙරේ.

ආචාර්ය දැරණියගල මහතා විසින් තමන් විසින් ඉදිරිපත් කරන ලද අක්‍ෂරයන්ගේ පැරණි බව සාධනය කිරීම සඳහා ”අනික් පදනම වනුයේ අනුරාධ නම ආශ‍්‍රය කරගෙන එම අක්‍ෂර ක‍්‍රි.පූ. හයවැනි සියවසට අයත්යැයි නිර්ණය කිරීමයි” යනුවෙන් හෑලෝගම මහතා දක්වා ඇත. ආචාර්ය දැරණියගල මහතා උක්ත මතය ඉදිරිපත් කරමින් ප‍්‍රකාශයට පමුණුවා ඇති කිසිදු ලිපියක අවධාරණයේ දැක්වෙන අයුරේ අදහසක් කිසිදු අවස්ථාවක ඉදිරිපත් කර නොමැත. දැරණියගල මහතා අදාළ මුල් ලිපියේ දක්වා ඇත්තේ පුරාවිද්‍යාත්මක ක‍්‍රම අනුව අනාවරණය වී ඇති සාධකයන්ගේ දැක්වෙන කරුණු හා අනුගතව මහාවංශ මූලාශ‍්‍රය ලැබෙන බවයි. එනම්, පුරාවිද්‍යා මූලාශ‍්‍රය අනුව බැලීමේ දී අදාළ කාලය පිළිබඳ ව වංශකතාව දක්වන කරුණු සනාථ වන බව මිස සාහිත්‍යය මූලාශ‍්‍රය අනුව පුරාවිද්‍යා මූලාශ‍්‍රය තක්සේරු කිරීමක් නොවේ ඒ. ඒ අනුව අදාළ මුල් පාඨය වඩා පරිස්සම් සහගතව කියවා අවබෝධ කරගැනීම වැදගත් වනු ඇත.

”අභිලේඛනයක් යනු අවුරුදු ගණනාවක් පවතින්නට ලියන ලේඛනයකි” යනුවෙන් හෑලෝගම මහතා අදහස් කර ඇති දේ ද පැහැදිලි නැත. තලකොළ, රෙදි, පොල්කොළ, ඇත්දත්, මැටි ඵලක ආදි ඕනෑම මාධ්‍යයක් මත සටහන් කරන දෙයක් අභිලේඛනයක් වශයෙන් සාමාන්‍යයෙන් සැලකේ. ශිලා මාධ්‍යයට සාපේක්‍ෂකව තල කොළ හා මැටි ඵලක වැනි දෑ දීර්ඝ කාලීනව පවතී යන්න අපේක්‍ෂාවක් අදාළ ලේඛකයනට තිබූ බව ද සිතීම අපහසු වේ. ඒ අනුව, ඒ මහතා ඒ ස්ථානයේ අදහස් කරන ලද්දේ සෙල්ලිපි දැයි පැහැදිලි කළ යුතු ව ඇත.

අධ්‍යාපනය යනු, සමාජයේ ඉහළ ස්ථරයේ සිට පහළට ගමන් කරන්නක් වන අතර එය පූජකයින් අත පැවති බව මහාචාර්ය හෑලෝගම මහතා දක්වයි. සාමාන්‍ය තත්ත්වය අනුව මෙය පිළිගැනීම අපහසු කරුණක් නොවේ. ලංකාවේ පුරා අක්‍ෂර පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකු වූ අභාවප‍්‍රාප්ත, මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා දක්වා ඇති ආකාරයට ලංකාවේ පැරණිම කාලයට අයත් අභිලේඛනයන්ගේ ව්‍යාප්තිය පාදක කරගත් විට රට පුරාම ඉහළ සාක්‍ෂරතාවක් පැවත ඇත. පැරණිම කාලයේ දී පූජකයනට වඩා වෙළෙඳුනට ලේඛන ක‍්‍රම අත්‍යාවශ්‍යය වූ බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහස් අනුව සිතිය හැකි වේ. ලංකාවේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ වනතෙක් එය පවත්වා ගෙන එන ලද්දේ භාණක පරම්පරා විසින් (කඩපාඩම් කිරීමෙන්) වන අතර ඔවුනට ලේඛනක‍්‍රම අත්‍යාවශ්‍යය දෙයක් නොවන්නට ඇත. එහෙත් සටහන් තබාගැනීම වෙළෙඳුනට සෑම කල්හිම අත්‍යාවශ්‍ය දෙයක් වන බව කිවයුතු විශේෂ කරුණක් ද නොවේ. දකුණු ආසියාතික කලාපයේ ලේඛනයේ ප‍්‍රභවය හා ව්‍යාප්තිය පිළිබඳ ඇති එක් අනුමාණයක් වන්නේ වෙළෙඳුන් හරහා මැද පෙරදිග වැනි බාහිර කලාපයන්ගෙන් දකුණු ආසියාතික කලාපයට එය ව්‍යාප්ත වූ බවයි.

හෑලෝගම මහාචාර්යතුමාගේ තවත් අදහසක් වන්නේ ”මැටි බඳුන්වල ලිවීමේ තත්ත්වයක් පවතිනවා නම් ඒ වන විට අක්‍ෂර කලාව දියුණු වී තිබිය යුතුය” යන්නයි. සාපේක්‍ෂකව දැඩි බව අඩු, මැටි ඵලකයක අකුරු සූරණවාට වඩා ඉහළ තාක්‍ෂණයකින් නිමවිය යුතු වානේ නැතහොත් අඩු තරමින් යකඩ උපකරණ භාවිතයෙන් තොරව ගල්මත ලිවිය නොහැකි වේ. ඒ අනුව වඩා වර්ධිත තාක්‍ෂණයක් හා ඊට අනුගත වර්ධිත අක්‍ෂර පද්ධතියක් අවශ්‍ය වන්නේ මැටි බඳුන් මතුපිට ලිවිමට නොව ගල් මතුපිට ලිවීමටය යන්න සරළ කරුණකි. එබැවින් ඉහත තර්කය පදනම් කරගෙන, ”අක්‍ෂර වඩා වර්ධනය වූ කාලයක මේ අනුරාධපුර මැටිබදුන් අක්‍ෂර සටහන් විය යුතු ය” යනු අදහස පහසුවෙන් ඉවතලිය හැක්කකි. තවත් අතකට, පූජනීය හෝ රාජකීයත්වය හා සහසම්බන්ධ දැ බොහෝ විට මැටි බඳුන් මඟින් නිරූපණය වේ. අදාළ මැටි බඳුන බාවිත කරන්නාගේ හෝ පිරිනමන්නාගේ නම නිරූපණය කර ඇති මෙම ලේඛන සැලකිල්ලකින් තොරව සටහන් කරන බවට තීරණයකට එන්නේ කෙසේ ද? වර්තමානයේ වුව ආගමික පාර්ශවය කෙරෙහි පරිත්‍යාගයක් කිරීමේ දී ඒ මත අනන්‍යතාව දැක්වීම ඉමහත් සැලකිල්ලෙන් සිදුකිරීම බැතිමතුන්ගේ සිරිතයි.

පිළිගත් පුරාවිද්‍යා ශාස්ත‍්‍රීය ක‍්‍රමවේදය වන්නේ කැනීමක් මඟින් ‘සංස්කෘතික ක‍්‍රමාවලිය’ හෙවත් ‘අනුපිළිවෙළ’ හඳුනා ගැනීමයි. එහි දී පුරාවිද්‍යා කැනීමක් මඟින් අනාවරණය වන පස් තට්ටු අනුපිළිවෙල සලකා බැලේ. එක් එක් පස් තට්ටුවෙන් ලැබෙන අඟුරු හෝ වෙනත් කාලනීර්ණය කළ හැකි දෑ නිරපේක්‍ෂ කාලනීර්ණ මඟින් කාලනීර්ණයට බඳුන් කර එම කාලනීර්ණ අදාළ පස් ස්ථරය සඳහා ම ආදේශ කිරීම සිදු වේ. මෙය කේවල හෝ හුදකලා කටයුත්තක් නොවේ. කැනීමක් අතරතුර විධිමත්ව හඳුනාගන්නා අනාකූල පස් තට්ටුවල, මධ්‍ය නියෝජනය වන ආකාරයෙන් විධිමත් ආකාරයෙන් ලබාගන්නා සාම්පල කාලනීර්ණය කර ඒ අනුව එක් එක් තට්ටුවෙන් ලබාගන්නා නියැදි වෙන් වෙන් වශයෙන් ලොව පිළිගත් රසායනාගාර තුළ දී නව තාක්‍ෂයෙන් කාලනීර්ණය කර ඒවා ක‍්‍රම පිළිවෙළකට පෙළගස්වා ගනු ලැබේ. එහි විශ්වාසනීය බව රදා පවතින්නේ ඒ කාලනීර්ණ අනුපිළිවෙල සඳහා ලැබෙන සංඛ්‍යා විද්‍යාත්මක සම්භාවිතාව මත ය. සිරාන් දැරණියගල හා මොහාන් අබේරත්න ආචාර්යවරුන් විස්තර කර ඇති පරිදි එක්සත් රාජධානියේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලීය ගණනය කිරීම් අනුව ඇතුළු නුවර මෙම කැනීම් සඳහා ලබා දී ඇති නිරවද්‍යතා සම්භාවිතාව 96%ක් ඉක්මවයි (කැනීමක් සඳහා සාමාන්‍ය සම්භාවිතා මට්ටම වන්නේ 60%ට ඉහළ අගයකි). අනෙක් අතට භූ විද්‍යාවේ විස්තර කරන ‘උපරි ස්ථාන ඇතුරුම පිළිබඳ න්‍යාය’ හා පුරාවිද්‍යාවේ දී ගැඹුරින් සලකා බලන ‘ස්ථල සකස්වීමේ ක‍්‍රියාදාමය’ පිළිබඳ නිසි අවබෝධයකින් යුතු ව සිදුකරන මෙම පුරාවිද්‍යා කැනීම් මෙන් ම ඉහත දැක් වූ න්‍යායාත්මක පදනම පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ඇත්තෙකුට අනුරාධපුරයේ ඇතුළු නුවර සිදුකරන ලද කැනීම් පිලිබඳ සැක මතු කිරීමට තරම් සාධාරණ ඌණතාවක් ඇති බව පෙනී යන්නේ නැත. ‘ශුද්ධ ස්ථර නොමැති බවත් භූ ගෝලීය විපර්යාස හේතුවෙන් සෑම විටම සංස්කෘතික තැම්පතු අවුල් සහගත වන බව’ හෑලෝගම මහාචාර්යතුමා දක්වතත් එතුමා ඇතුළු නුවර කැනීම් සම්බන්ධයෙන් මෙවැනි නිගමනයකට එලැඹි ආකාරය පැහැදිලි නැත. පස් තට්ටු අවුල් වීම සඳහා හේතු ගනනාවක් බල පෑ හැකි නමුත් ක්‍ෂේත‍්‍ර අද්දැකීම් වල ඇති පෘතුළ බව, පුරාකෘතිවල මාදිලි සැසදීම, කැනීම් පරිශ‍්‍ර කීපයක දත්ත එකිනෙක සමඟ සහසම්බන්ධතා පරික්‍ෂා කිරීම පමණක් නොව නිරපේක්‍ෂ කාලනීර්ණ ක‍්‍රමාවලිය අනුව ද ප‍්‍රස්තුත කැනීම්වල පාංශු ස්ථරයන්ගේ ඇතුරුම පිළිබඳ සැක කිරීමට හේතුවක් ඇති බව නොපෙනේ. සිරාන් දැරණියගල මහතා දක්වා ඇති ආකාරයට අනුරාධපුර මහාපාළි දාන ශාලාව ආසන්නයේ කළ කැනීමේ බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත මැටි බඳුන් කොටස් අනාවරණය වූ සන්දර්භයන් අවුල් වීමට ඇති අවකාශ්‍ය 1%කි. එහි අනෙක් අදහස වන්නේ එහි නිරවද්‍යතා සම්භාවිතාව 99%ක් තරම් ඉහළ බව ය. මේ පිළිබඳ නැවත වරක් තහවුරු කර ගැනීම සඳහා ශි‍්‍ර‍ ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය, දකුණු ආසියානු කලාපයේ අදාළ යුගය පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් සැලකෙන එෆ්.ආර්. ඕල්චින් මහතා හා රොබින් කොනින්හම් (ලෝක සම්භාවිත පුරාවිද්‍යාඥ ශ‍්‍රීමත් කොලින් රෙන්ෆ‍්‍රෑ මහතාගේ ශිෂ්‍ය) මහතා ලංකාවට ගෙන්වා ගන්නා ලදී. ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් 1988 වසරේ දී සිදුකරන ලද සල්ගහවත්ත කැනීම් පරිශ‍්‍රයේ ම නැඟෙනහිර ඉම 1989-1992 කාලසීමාවේ දී ඔවුන් විසින් වඩාත් පුළුල් කරමින් අනුරාධපුර සල්ගහවත්ත 2 (ASW 2) පර්යේෂණ කැනීම දියත් කරන ලදී. ජාත්‍යන්තර මට්ටමින් ස්වාධීනව සිදුකරන ලද මෙම කැනීමේ දී එතෙක් අනාවරණය වී පැවති බ‍්‍රාහ්මි අක්‍ෂරයන්ගේ පෞරාණිකත්වය පිළිබඳ ප‍්‍රතිපළ නැවත තහවුරු කිරීමට හැකි වී ඇති බව ඔවුන්ගේ වාර්තා පරිශීලනය කිරීමේ දී පෙනී යයි. මේ පිළිබඳ සාධාරණ සැකයක් තවදුරටත් ඇත්නම් පිළිගත් සුදුසුකම් සපුරා ඇති ඕනෑම අයෙකුට (විධිමත් පර්යේෂණ අරමුණක්, සුදුසු ‌මෙන් ම වර්ධිත ක‍්‍රමවේද හා මුල්‍ය පහසුකම් සහිත) එය පරික්‍ෂා කිරීම සඳහා තවම 0.05%ක්වත් කැනීම් සඳහා භාජනය කර නොමැති අනුරාධපුරයේ ඇතුළු නගරය පිළිබඳ විධිමත් පර්යේෂණ සිදුකිරීමට ද අවස්ථාව ඇති බව දක්වනු කැමැත්තෙමි.

ආචාර්ය සිරාන් දැරණියගල මහතා දක්වන මැටි බඳුන් ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් බවට පිළිගැනීමට නොහැකි තවත් හේතුවක් වශයෙන් හෑලෝගම මහතා දක්වන්නේ ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට 3 වැනි සියවස දක්වා කාලයට අයත් බ‍්‍රාහ්මී ලේඛන හෝ අක්‍ෂර සඳහන් නිදර්ශක හමු නොවන බවයි. ලේඛන සඳහන් මැටිබඳුන් කොටස් ලැබීම සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එය විශේෂ තත්ත්වයකි. අක්‍ෂර සටහන් කරන ලද මැටි බඳුන් අතරතුර කාලයෙන් හමු නොවන බැවින් මුල් නිගමන ප‍්‍රතික්ෂේප කිරීම කෙතරම් උචිතදැයි තවදුරටත් පැහැදිලි විය යුතු වේ. මහාචාර්ය රොබින් කොනින්හම් විසින් සිදුකරන ලද අනුරාධපුර සල්ගහවත්ත 2 (ASW 2) කැනීමේ දී ක‍්‍රිස්තු පූර්ව 5 සිට 3 වැනි සියවස් අතරතුර කාලයට අයත් බ‍්‍රාහ්මී අක්ෂර සටහන් කරන ලද මැටි බඳුන් කොටස් 25ක් පමණ ලැබී ඇති බව හෑලෝගම මහතා නොසලකා ඇති බව ද මෙහි දැක්විය යුතු වේ. කාලනීර්ණය කළ නොහැකි පැරණිම ලෙන් ලිපි අතුරින් කීපයක් හෝ ක‍්‍රිස්තු පූර්ව 6-5 හා 4 වැනි සියවස් අතර කාලයට අයත් විය හැකි බව අභිලේඛනඥයින් කීප දෙනෙකුගේ අදහස වී ඇත. පිළිබඳ පිළිගත් ක‍්‍රමවේද අනුව මේ පිළිබඳ ගැඹුරින් සොයා බැලීම අභිලේඛනඥයින් ප‍්‍රමුඛ ඉතිහාසඥයින්ගේ යුතුකමක් හා වගකීමකි. ආචාර්ය දැරණියගල මහතා මහාවංශයේ දැක්වෙන නම් පදනම් කරගෙන බ‍්‍රාහ්මී මැටි පාඨ සඳහා දින නියම සිදුකරන බව දක්වා ඇතත් මෙය ද සපුරා ම සාවධ්‍ය අදහසක් බවත් පුරාවිද්‍යා ක‍්‍රම මඟින් ලබාගත් කාලනීර්ණ තුළින් මහාවංශය දක්වන කරුණු සනාථ වන බව පමණක් එයින් අදහස් කර ඇති බවත් මේ වන විටත් පෙන්වා දී ඇත. බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රභවය වී පිටතට ව්‍යාප්ත වූ බව දැරණියගල මහතා විසින් කිසිඳු ස්ථානයක දක්වා නොමැති අතර එතුමා දක්වා ඇත්තේ දැනට සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ක‍්‍රිස්තු පූර්ව 7-6 වැනි සියවස පමණ කාලයට අයත් බ‍්‍රාහ්මී අක්‍ෂර ලංකාවෙන් හමුවන බව පමණි. ඉදිරියේ දී සිදුකරන අධ්‍යයන වල දී ඒ පිළිබඳ වැඩිමනක් තොරතුරු අනාවරණය විය හැකි බව පෙන්වා දී ඇති අතර අපේක්‍ෂා කළ පරිදි ම එයින් වසර 25ක පමණ ඇවෑමෙන් දකුණු ඉන්දියාවේ ස්ථාන දෙකකින් හා ලංකාවේ එක් ස්ථානයකින් ඒ හා සම්බන්ධ පිළිගත හැකි ප‍්‍රබල සාධක අනාවරණය වීම බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය පිළිබඳ සංවාදය සම්බන්ධයෙන් උනන්දු සෑම අයටම වැදගත් වන කරුණකි.

”මෙම මැටි බඳුන්වල යෙදෙන අක්‍ෂර පිළිබඳ කාලනීර්ණය සෙවීමේ වඩාත් උචිත ක‍්‍රමය ලෙස මා සලකනු ලබන්නේ එම මැටි බඳුන්වල අක්‍ෂරවලට සමානතාවක් ගන්නා අභිලේඛනවල සහ මැටි බඳුන්වල යෙදෙන අක්‍ෂර සමඟ සන්සන්දනය කිරීම” බව හෑලෝගම මහතා අදහස් කර ඇත. මෙකී ක‍්‍රමය අදාළ ප‍්‍රස්තුතය පරික්‍ෂා කිරීම සඳහා ඇති උචිත ක‍්‍රමයක් බවට වාදයක් නොමැත. නමුත් ඒ සම්බන්ධයෙන් උද්ගත ව ගැටලුුව වන්නේ මෙම අකුරු සැසදීම සඳහා මේ කාලය හා අනුගත යැයි නිශ්චිතව එකඟතාවට එලැඹුණු ලේඛන දේශීය වශයෙන් හෝ කලාපීය වශයෙන් වෙනත් ස්ථානයක පවතී ද යන්නයි. ඒ හැර ලේඛක අනන්‍යතා, ලේඛන සටහන් කර ඇති මාධ්‍යය නිසා හටගන්නා විවිධතා වැනි හේතු රැසක් සමඟ බලපවත්වන අක්‍ෂරයන්ගේ රූපීය ලක්ෂණ වෙත පමණක් අවදානය යොමු කරමින් පසු කාලීන අතුරු සමඟ පමණක් සැසදීම ප‍්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි. (උතුරු ඉන්දියාවේ පීප‍්‍රාවා ලේඛනයේ පුරාවිද්‍යාත්මක අන්‍යතාව අනුරාධපුර ඇතුළු නුවර සාධක තරම් ප‍්‍රබල නොවේ. එවැනි පසුබිමක එම ලේඛනය ඉතා පැරණි කාලයට අයත් බව නිසැකයෙන් තීරණය කරන ලද්දේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එහි පෞරාණිකත්වය තීරණය කි්රීම සඳහා එම ලේඛනය ඉන්දියාවෙන් හමු වීම පමණක් ප‍්‍රමාණවත් නොවේ). මෙම ප‍්‍රස්තුත ලේඛනයේ අවසාන ජේද දෙකේ ඉදිරිපත් කර ඇති අදහස් ප‍්‍රමාණවත් ආකාරයෙන් පැහැදිලි වී නොමැත. පුවත්පතේ දී ලැබෙන ඉඩ සීමාසහිත නිසා ඒ කොටස් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමට අවස්ථාවක් නොතිබූ බව පැහැදිලි ය. එහි විස්තර කිරීමට මුළ පුරා ඇති එකිනෙක නියැදි අතර පවතින සමානඅසමානතා එකිනෙක ඉදිරිපත් කරන්නේ නම් එහි පවත්නා යෝග්‍යතාව පිළිබඳව පුරා අක්‍ෂර හා අභිලේඛන විද්‍යාත්මක වශයෙන් සලකා බැලීමට අවස්ථාව පවති.

ආචාර්ය සිරාන් දැරණියගල මහතා අනුරාධපුරයේ ඇතුළු නගරයේ සාධක පිළිබඳ ව ඉදිරිපත් කර ඇති අදහස පාඨකයාට වඩාත් අවබෝධ කරගැනීම සඳහා සංක්‍ෂේපයෙන් හෝ කරුණු දැක්වීම අපගේ යුතුකමකි. එබැවින් මෙම විෂය පිළිබඳ උනන්දුමත් පාඨකයා දැනුවත් කිරීමේ අරමුණින් මෙයින් ඉදිරියට ඒ සම්බන්ධ කරුණු කෙටියෙන් ගොනු කිරීමට උත්සුක වෙමි.

ඇල්ෆ‍්‍රඩ් ඩි. මැල්

අක්කර 250කට ආසන්න භූමි වපසරියක ව්‍යාප්ත වී ඇති අනුරාධපුර ඇතුළු නගරයේ පුළුල් පර්යේෂණ සැලසුමට අනුකූල ව දියත් කරන ලද පර්යේෂණ කැනීම් පරිශ‍්‍ර 14කි. එයින් මෙම කථිකාව හා ප‍්‍රමුඛ වශයෙන් අදාළ වන කැනීම් පරිශ‍්‍ර ද්විත්වයකි. ඒ, සියලු කැනීම් අතුරින් වඩා පුළුල් හා ස්ථායි සංස්කෘතික ස්ථරණයක් හා විවිධත්වයක් පෙන්නුම් කරන අනුරාධපුර ඇතුළු නගරයේ මහාපාළි දාන ශාලාව ආසන්නයේ 1988 වසරේ දී සිදුකරන ලද කැනීම (AMP 88) හා අනුරාධුපර ඇතුළු නගරයේ සල්ගහවත්ත (ASW 88) නම් ස්ථානයේ 1988 වසරේ දී සිදුකරන ලද කැනීමයි. මේ සඳහා ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙරමුණ ගන්නා ලද අතර අනුරාධපුර ඇතුළු පුරයේ පර්යේෂණ කැනීම් අධ්‍යක්‍ෂ වශයෙන් කෘතහස්ත කැනීම් විශාරදයෙකු මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතා උපාධිධරයින් ඇතුළු සමස්ත පර්යේෂණ කණ්ඩායමට ප‍්‍රමුඛත්වය ගන්නා ලදී. බෙහෙවින් පෙළඹි ගිය කැනීම් කරුවෙකු මෙන් ම ඉතා ම සංකීර්ණ ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන් සහ ඇතුළු නගරයේ සංකීර්ණ ස්ථර වින්‍යාසය පිළිබඳ අද්දැකීම් සම්භාරයක් ලබා ඇති ඇල්ෆ‍්‍රඩ් ඩි. මැල් මහතා ප‍්‍රධාන කැනීම්කරු වශයෙන් සම්බන්ධ විය.

මහාපාළි දානශාලාව (AMP 88) ආසන්නයේ කළ කැනීමෙන් අනාවරණය වූ සියලූ ම සංස්කෘතික ද්‍රව්‍යය ඇතුළු නගරයේ දකුණු හා මධ්‍යම කොටස් සමඟ බොහෝ සෙයින් අනුකූල වී ඇති අතර එහි 75 වැනි අංකයෙන් නම් කරන ලද සන්දර්භයට අයත් (AMP 88 (75)) සංස්කෘතික සාධක අනුව ‘මූලික ආදි ඓතිහාසික යුගයට’ අදාළ කළ හැකි වේ. මෙම සන්දර්භයෙන් අනාවරණය වන සාධක අනුරාධපුර ගෙඩිගේ සන්දර්භ අංක 17 (AG 85 (17)) හා සල්ගහවත්ත අංක 88 වැනි සන්දර්භයට (ASW 88 (88)) අයත් සංස්කෘතික තැම්පතු හා සමාන්තර වේ. මෙම සංසන්දනාත්මක අධ්‍යයන මඟින් පුළුල් වපසරියක ව්‍යාප්ත වී ඇති ඇතුළු නගරයේ එකිනෙකික් ස්වායක්තව සැලකිය යුතු දුරස්ථතාවකින් පිහිටා ඇති කැනීම් පරිශ‍්‍රයන්ගේ සංස්කෘතික තැම්පතු අතර පවත්නා අන්‍යෝන්‍ය සහසම්බන්ධතා මඟින් සමාන ලක්‍ෂණ පෙන්නුම් කරන සංස්කෘතියක් සම කාලීනව පැතිරි තිබූ බව තහවුරු වේ. මහාචාර්ය විමලසේන හෑලෝගම මහතා දක්වන ආකාරයේ අවුල් සහගත බවක් මෙම කැනීම්වල පාංශු ස්ථරයන් තුළින් නම් හඳුනාගත නොහැකි බවත් අවම වශයෙන් ඒ පිළිබඳ අනුමාණයක් හෝ ඇතිකර ගැනීමට ඉඩප‍්‍රස්ථාවක් හෝ නොමැති බවත් නැවත ද පෙන්වා දිය යුතු වේ.

1988 වසරේ දී මහාපාළි දාන ශාලාව ආසන්නයේ සිදුකළ කැනීමේ සන්දර්භය
අනුරාධපුර මහාපාළි කැනීමෙන් අනාවරණය වූ ‘තයාකුටෙ’ පාඨය දැක්වෙන මැටි බඳුන් ‌කොටස

ඉහත දක්වා ඇති ආකාරයට 1988 වසරේ දී මහාපාළි දාන ශාලාව ආසන්නයේ සිදුකළ කැනීමේ සන්දර්භ අංක 75ට අයත් (AMP 88 (75)) සංස්කෘතික තැම්පතු තුළින් අනාවරණය වී ඇති අක්‍ෂර සහිත මැටි බඳුන් කොටස් 5කි (මේවා මැටි භාජන 5කට අයත් වේ). මහාචාර්ය හෑලෝගම මහතා දක්වා ඇති ආකාරයෙන් ම ඒවායින් ‘ගෙ’, ‘තයාකුටෙ’, ‘තාර(ච)’, ‘චගය’ හා ‘ක(බ)’ යන පාඨ කොටස් දැක්වෙන ආකාරය හඳුනාගෙන ඇත. මෙම පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් සඳහා නිරපේක්‍ෂ දිනනීර්ණ 14ක් අදාළ පර්යේෂකයා සපයා ඇත්තේ රේඩියෝ කාබන් හෙවත් කාබන් 14 (ක්‍ 14) දින නීර්ණ 9ක් හා තාපසංදීප්තතා (Thermoluminescence : TL) කාලනීර්ණ 5ක් වශයෙනි. ඒම කාලනීර්ණ අතුරින් මහාපාළි දාන ශාලාව ආසන්නයේ කැනීමේ 75 වැනි (AMP 88 (75)) සන්දර්භයට ඉහළ සංස්කෘතික ස්තර සඳහා රේඩියෝ කාබන් කාලනීර්ණ 5ක් හා තාපසම්දීප්තතා කාලනීර්ණ 1ක් මෙන් ම මෙම කැනීමේ 75 වැනි සන්දර්භය සඳහා කාබන් කාලනීර්ණ 2ක් හා තාපසම්දීප්තතා කාලනීර්ණ 4ක් ද එහි ම 75 වැනි සන්දර්භයට පහළ සංස්කෘතික අවස්ථා සඳහා රේඩියෝ කාබන් කාලනීර්ණ 2ක් ද වශයෙනි. ඒ අනුව, ශක්තිමක් කාලනීර්ණ පදනමක් මත විධිමත් කාලක‍්‍රමාවලියකට මෙම කැනීමේ සංස්කෘතික ස්ථරණය ස්ථාපනය කර ඇත. අපගේ සාකච්ඡාව සමඟ ඍජු වශයෙන් අදාළ අනුරාධපුර මහාපාළි දාන ශාලාව ආසන්නයේ කැනීමේ 75 වැනි සන්දර්භයට (AMP 88(75)) අදාළ ව බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත මැටි බඳුන් කැබලි සහිත සංස්කෘතික ස්ථරය දින වකවානු 2කට අයත් වේ. මේවායේ මධ්‍ය අගයන් පිළිබඳ සලකා බැලුවහොත් ඒවා පිහිටන්නේ ක‍්‍රිස්තු පූර්ව 6 හෝ 7 වැනි සියවස් හා අනුගත කාල වෙතයි.

ඉහත සාකච්ඡාවට යොදාගෙන ඇති ඇතුළු නගරයේ පර්යේෂණ කැනීම් තුන අතුරින් මහාපාළි දාන ශාලාව අසළ කැනීමේ 75 (AMP 88 (75)) සන්දර්භය හා ගෙඩිගේ ආසන්න කැනිමේ 17 වැනි සන්දර්භය (AG 85 (17)) හා සල්ගහවත්ත අසන්නයේ කැනීමේ 88 වැනි සන්දර්භය (ASW 88 (88)) යන සන්දර්භ ත‍්‍රිත්ත්වය ඒවායේ පවත්නා සංස්කෘතික ද්‍රව්‍යය අනුව එකිනෙක හා සම්පාත වන බව තහවුරු වී ඇත. මෙම පර්යේෂණ කැනීම් පරිශ‍්‍ර ත‍්‍රිත්ත්වයෙන් ම වඩා සාධාරණ ලෙස අවම වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 7-6 සියවස් දක්වා කාලයට අයත් කිරීමට අවශ්‍ය කාලනීර්ණ පදනම උත්පාදනය කර දී ඇත.

අනුරාධපුර සල්ගහවත්ත කැනීමෙන් අනාවරණය වූ ‘බියඅනුර(ධි)’ පාඨය දැක්වෙන මැටි බඳුන් ‌කොටස

අනුරාධපුර සල්ගහවත්ත (ASW 88) කැනීමේ 88 වැනි සන්දර්භය මඟින් බ‍්‍රාහ්මී පාඨ දැක්වෙන මැටි බඳුන් කොටස් දෙකක් ලැබී ඇති අතර එහි එක් නිදර්ශකයක ‘මාද’ යන්න හා අනෙකේ ‘බියඅනුර(ධි)’ යන්න සටහන් වී ඇති බව හඳුනාගත හැකි වේ. දෙ වැන්නේ දැක්වෙන මහාප‍්‍රාණ ‘’ අක්‍ෂරය අනුව මෙම අක්‍ෂර නියත වශයෙන් ම ප‍්‍රාකෘත විය යුතු බව අදහස් කර ඇත. මෙම සාධක කාබන් කාලනීර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව 6 සියවස වශයෙන් දින නියම ලබාගෙන ඇත.

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය පිළිබඳ කථිකාවේ දී දකුණු ඉන්දීයාවේ සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම් ගණනාවක් පිළිබඳ විවිධ අවස්ථාවන් හී අවධානය යොමු විය. ඒ අතරේ දකුණු ඉන්දියාවේ හා ලංකාවේ මෑත කාලීන ව සිදුකළ පුරාවිද්‍යා කැනීම් තුනක් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම යෝග්‍යය වේ. ඒ දකුණු ඉන්දීය කලාපයේ ස්ථානගත පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් යැයි සැලකූ සුසාන භූමි දෙකක් වූ ‘කොඩුමනල්’ හා ‘පොරුන්තාල්’ කැනීම් හා ලංකාවේ ගල්ගමුව ආසන්නයේ පිහිටි ‘අන්දරවැව’ පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් යැයි සැලකූ සුසාන භූමියේ සිදුකරන ලද කැනීම් වෙතයි.

මහාචාර්ය ‌කේ. රාජන්

දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ. රාජන් හා ඔහුගේ කණ්ඩායම විසින් කොංගු ප‍්‍රදේශයේ පිහිටා ඇති කොඩුමනල් හා පොරුන්තාල් යන මහාශිලා සම්ප‍්‍රදායේ සුසාන භූමි දෙකක් කැනිම් කරන ලදී. කොඩුමනල් කැනීමෙන් පුද්ගල නාම ප‍්‍රදර්ශනය කරන බ‍්‍රාහ්මී අක්‍ෂරයන් දැක්වෙන ලේඛන ගණනාවක් අනාවරණය වී ඇති අතර එහි අනාවරණය වූ බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටි බඳුන් නිදර්ශක දෙකක් සඳහා පිළිවෙලින් ක‍්‍රිස්තු පූර්ව 408 හා 330 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ දෙකක් (මෙම දින අංක ශෝධනය නොකරන ලද අතර අංක ශෝධනය කිරීමෙන් පසු ලැබෙන කැලැන්ඩර් දින මීට වඩා පැරණි කාලයට අයත් වන බව සලකන්න.) එම පර්යේෂකයන් විසින් ලබා දී ඇත.

තමිල්නාඩුවේ දින්දිගුල් දිස්ත‍්‍රික්කයේ පලනි නම් නගරයට කිලෝමීටර් 12ක් පමණ නිරිත දිගින්, බටහිර ඝාට්ස් වැටියේ පාමුළ පිහිටි පොරුන්තාල් ග‍්‍රාමයේ ඇති මහාශිලා සුසාන භූමියේ කැනීම මඟින් බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටිබඳුන් ගැටි කොටස් දෙකක් අනාවරණය වී ඇත. ගල් වටයකින් ආවරණය වී පැවති ශිලා මඤ්ජුසා සුසානයක් වන මෙම ස්ථානයේ සිදුකළ මෙම කැනීම 2009 හා 2010 වසරේ දී මහාචාර්ය කේ. රාජන් මහතා ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දකි. මෙයින් අනාවරණය වූ එක් මැටි බඳුන් කොටසක් සඳහා ක‍්‍රිස්තු පූර්ව 490 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ (අංක ශෝධනය නොකරන ලද) ලැබී ඇත. මේ මඟින් නැවත වරක් කොඩුමනාල් දින නීර්ණයන්ට වඩා පූර්ව කාලීන දින නියමක් හඟවනු ලැබේ. මහාචාර්ය කේ. රාජන් මහතා ඇතුළු අනෙකුත් පර්යේෂකයින් ”පොරුන්තාල් හා කොඩුමනල් වලින් ලැබුණු මෙම කාලනීර්ණ බ‍්‍රාහ්මී ලේඛනවල කාලනීර්ණය නිසැක වශයෙන් ම අසෝක යුගයට වඩා අවුරුදු දෙ සියක් ඈත කාලයට ගෙනයයි. මෙම බ‍්‍රාහ්මී ඉන්දියාවේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය පිළිබඳ අදහස් නැවත විපරම් කිරීමට අපව පොළඹවනු ලබයි” යනුවෙන් තම අදහස් දක්වා ඇත.

ආචාර්ය ඉරවතම් මහාදේවන්

2018 නොවැම්බර් මස 26 වැනි දින කීර්තිශේෂභවෝපගත වූ දකුණු ආසියාතික කලාපයේ විශිෂ්ඨම අභිලේඛනඥයෙකු වශයෙන් සැලකෙන ආචාර්ය ඉරවතම් මහාදේවන් මහතා 1997 වසරේ දී, අනුරාධපුරයෙන් අනාවරණය වූ සාධක විප්ලවීය සොයාගැනීමක් බවත් එය පිළිගැනීම සඳහා ඉන්දියාවෙන් ඊට සම හෝ පූර්ව කාලීන සාධක ලැබිය යුතු බවත් දන්වා ඇත. පසුව සිදුකළ කොඩුමනාල් හා පොරුන්තාල් කැනීම් මඟින් උක්ත අවශ්‍යතාව සපුරා ඇති හෙයින් අනුරාධපුරයේ ඇතුළු නුවරින් අනාවරණය වූ මෙම සාධකයන්ගේ තථ්‍යතාව පිළිගැනීම තවදුරටත් අපහසු හෝ වේදනාකාරි දෙයක් නොවේ.

ස්වදේශීය ස්ථානයක් නිසා මෙන් ම මෑත කාලීන ව සිදු වූ අනාවරණයක් හේතුවෙන් ගල්ගමුව ආසන්නයේ පිහිටි අන්දරවැව මහාශිලා සම්ප‍්‍රදාය නිරූපණය කරන සුසාන භූමියේ සිදුකරන ලද කැනීම් මඟින් අනාවරණය වූ සාධක පිළිබඳ අවධානය යොමු කිරීම මේ කථිකාවේ දී විශේෂ වැදගත්කමක් හිමිකර ගනී. 2017 වසරේ දෙ වැනි භාගයේ දී ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා විසින් ආණමඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ගමුවට නුදුරු අන්දරවැව නම් ග‍්‍රාමයේ පිහිටි පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් සුසාන භූමියේ සිදුකරන ලද පුරාවිද්‍යා කැනීමේ දී මෙම සාධක අනාවරණය වී ඇත. සුසාන ගර්භය තුළ තැන්පත් කර තිබූ මැටි මුට්ටියක බිඳී ගොස් පැවති බඳ කොටස් කැබලි දෙකක තිබී බ‍්‍රාහ්මී අක්ෂර දෙකක් හඳුනා ගෙන ඇත. ඒ පිළිබඳ මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පහත පරිදි අදහස් දක්වා ඇත.

අන්දරවැව මහා ශිලා සුසානය ආශ‍්‍රිතව මෙම සොයා ගැනීම ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන සම්බන්ධව ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස පෙන්වා දිය හැකි ය. එසේ පෙන්වාදිය හැක්කේ ශිලා පුවරු 4කින් වටකොට තනන ලද ශිලා මංජුසාවක අභ්‍යන්තරයේ තැන්පත් කරන ලද මැටි බඳුන් විශාල පියන් ගලකින් වැසූ පසු කිසිදු අයුරකින් විතැන්වීමක් සිදු නොවන අතර සත්ව ක‍්‍රියා හේතුවෙන් එහා මෙහා යාමක් ද සිදු නොවේ. එම නිසා ප‍්‍රථමයෙන්ම සන්දර්භය අවුල් සහගත නොවූ තැනකින් මෙම අක්ෂර සහිත මැටි බඳුන් ලැබීම ඉතාම වැදගත් වේ. මෙහි අතිශය වැදගත් අනික් කරුණ වන්නේ මෙම අක්ෂර අන්තර්ගත මැටි බදුන් කැබළි හමුවන මැටි බඳුන ඇතුළතින් ලබාගත් අස්ථි සාම්පල් ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනයට යවා ලබාගත් කාලනිර්ණ අනුව එම අස්ථි හා මැටි බඳුන් අයත් වන කාලය ක‍්‍රිස්තු පූර්ව 491 – 366 ලෙසට දින නිර්ණය වී තිබේ (2440-2315 Cal BP) 94.4%ක විශ්වාසනීය භාවයක් ලබා දී ඇති මෙම කාලනිර්ණවලින් 1.0%ක නිරවද්‍යතාව මත ඒවා නිශ්චිත වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 507-501 (2456-2449) අයත් වන වන බව බීටා ඇනලිටික් ආයතනය දන්වා තිබේ (Beta – 482665). ඒ අනුව මෙම අක්ෂර ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් බව නිසැක ලෙසම තහවුරු වේ.

තුසිත මැන්දිස් මහාචාර්යතුමා දක්වා ඇති ආකාරයට සන්දර්භ අවුල් වීම සඳහා අවම ප‍්‍රස්ථාවක් ඇති සන්දර්භයකට අයත් ව මෙකී දින නීර්ණ සමඟ අනුයාතව බ‍්‍රාහ්මී අක්‍ෂර ලැබීම ආචාර්ය සිරාන් දැරණියගලයන් විසින් 1990 දශකයේ දී ඉදිරිපත් කළ අදහස යළියළිත් තහවුරු වන ආකාරය පෙන්නුම් කරයි.

මහාචාර්ය ‌කේ. රාජන් මහතා හා ආචාර්ය සිරාන් දැරණියගල මහතා ‌‌කොළඹ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවති සමුළුවක දී අදහස් හුවමාරු කර ගනිමින් . . .

ඉහත සංක්‍ෂේපයෙන් කරුණු දැක් වූ ආකාරයට ආචාර්ය සිරාන් දැරණයගල මහතා විසින් 1980 දශකයේ අවසානයේ දී විධිමත් හා පිළිගත් ශාස්ත‍්‍රීය ක‍්‍රම පදනම් කරගනිමින් ඉදිරිපත් කරන ලද බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ භාවිතය සම්බන්ධයෙන් ලංකාවෙන් අනාවරණය වන සාධක පිළිබඳ ඉදිරිපත් කරන විග‍්‍රහයන් හෝ විචේචන මීට වඩා ශක්තිමත් පදනමක් තුළ සිටිමින් ඉදිරිපත් කළ යුතු බව දක්වනු කැමැත්තෙමි. අනෙක් අතට බැලූූබැල්මට මානවයාගේ අතීතය පිළිබඳ හදාරණ ඉතිහාසය හා පුරාවිද්‍යාව බෙහෙවින් සමගාමි විෂයන් දෙකක් බව පෙනී ගිය ද එවායේ දැනුම උත්පාදනය කරන ක‍්‍රමවේදයන්ගේ ඇත්තේ විශාල පරතරයකි. එ බැවින්, වෙනත් විෂයීක ප‍්‍රවේෂයක් ඔස්සේ තවත් විෂයයකට අනන්‍ය ක‍්‍රමවේද මත පදනම්ව ඉදිරිපත් කරන මත පිළිබඳ සාකච්ඡා කිරීමේ දි එම විෂයේ ක‍්‍රමවේද පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීම අත්‍යාවශ්‍යය වේ.

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වූ බවයි. එනම්, ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත්, අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් හා කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.

අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක පිළිබඳ වැඩි විස්තර සඳහා . . . 

ගල්ගමුව, අන්දරවැව කැනීමෙන් අනාවරණය වූ සාධක පිළිබඳ වැඩි විස්තර සඳහා . . . 

-------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.12.24 දින  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

‘ඓතිහාසික ස්මාරක ස්ථාන ආශ්‍රිත කුරුටු සටහන් සංකේත’ කෘතිය පිළිබඳ සටහනක්

 “ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බොහෝ ස්මාරක ස්ථානවල අපට වසර දහස් ගණනක සිට නිශ්චිත අර්ථනිරූපණය කරන ශිලා ලේඛන සාධක විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. මේ හැර ගල්තලය මත කිසියම් අර්ථයක් සන්නිවේදනය කිරීමේ අරමුණින් පැරැන්නන් විසින් සටහන් කරන ලද මානව සත්ව හා විවිධ හැඩයෙන් යුක්ත ජ්‍යාමිතික රූප සටහන් සංකේත විශාල ප්‍රමාණයක් ද දැකගත හැකි ය …

ඉහත සටහන හෝමාගම පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් සිය ප්‍රථම පර්යේෂණ ව්‍යාපෘතිය අලලා සම්පාදිත නවතම කෘතිය වන ඓතිහාසික ස්මාරක ස්ථාන ආශ‍්‍රිත කුරුටු සටහන් සංකේත” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි. අනුරාධපුර ථුපාරාමය, මිරිසවැටිය දාගැබ, අභයගිරිය දාගැබ හා ලංකාරාම දාගැබ ආශ්‍රිත සලපතල මළුවල දක්නට ලැබෙන සංකේත පිළිබඳ ව මෙම පර්යේෂණ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.ශ්‍රී ලංකාවේ අපර බ්‍රහ්මීය සෙල්ලිපි බොහොමයක් ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 3 සියවස කාලයට යටත්ව සම්පාදිතව ඇති අතර එම සෙල්ලිපිවලින් සටහන් නොවන සමාජීය මානව හැසිරීම් ලක්ෂණ, ආකල්පයන් හා ඇදහිලි විශ්වාසයන් හැදෑරීම සදහා මනා පිටිවහලක් මෙම කෘතිය පරීශීලනය කරන්නෙකුට ලබාගත හැකි ය. මෙම පර්යේෂණය සදහා මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා උපදේශකත්වය ලබා දී ඇති අතර කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි ප්‍රධාන පර්යේෂක වශයෙන් කටයුතු කර ඇත. කථිකාචාර්ය කැලෑගම ජිනරතන හිමි, කථිකාචාර්ය වටරක්ගොඩ සුමන හිමි, බාහිර කථිකාචාර්ය නිලංග උදාර ජයරත්න මහතා, ගෞරව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, ගෞරව ශාස්ත්‍රවේදී උදය චතුරංග මහතා, උපාධි අපේක්ෂක ගම්මහේගේවැව අමිත හිමි, උපාධි අපේක්ෂක සිරිලාල් මහතා හා උපාධි අපේක්ෂක රත්නපාල මහතා මෙම පර්යේෂණයේ සෙසු සාමාජිකත්වය දරා ඇත.  

ඓතිහාසික ස්මාරක ස්ථාන ආශ‍්‍රිත කුරුටු සටහන් සංකේත”  කෘතිය  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් මිල දී ගත හැකි ‌වේ. 

විකුණුම් මිල රුපියල් 1,300.00 කි.  A4 ප්‍රමාණයේ පිටු 237 කි. 

  

තිරියායේ පිහිටි ගිරිහඬු සෑ පුද බිම

එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.

බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජානන් වහන්සේට විලඳ, මී පැණි, අත්සුණු ආදියෙන් සමන්විත පළමු දානය පුජා කරන ලද්දේ ගැල් පුරා වෙළඳ බඩු රැගෙන ගිය තපස්සු හා භල්ලුක නම් වූ වෙළඳුන් දෙ දෙනෙකු විසිනි. එම පුජාව පිළිගත් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යාණුමෝදනාවෙන් සිත් පහදවාගත් මේ වෙළඳුන් බුදුන් දහම් සරණගොස් බෞද්ධෝපාසකයන් වී වැඳුම්පිදුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යමක් අයැද සිටින ලදී. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතුන් ස්වල්පයක් දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ‌වේ. මේ කේශ ධාතූන් රන් කරඬුවක තැන්පත් කොට වෙළඳාමේ යද්දී වන්දනා මාන කිරීම සඳහා රැගෙන ගොස් ඇත. ඒ වෙළඳුන් වෙළඳාම සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ලංකාව ආදී රටවලදී එම කේශ ධාතූන් දෙනම බැගින් තැන්පත්කොට දාගැබ් පිහිටවූ බව කියති. බුරුමයේ රැන්ගුන් සෑයේ නිධන් කොට ඇත්තේ කේශ ධාතූන් බව සැලකේ. එමෙන්ම හියුන්සාන් නම් චීන භික්ෂුන්වහන්සේගේ ගමන් විස්තරවල ඇෆ්ගනිස්ථාන‌ෙයේ දී  කේශ ධාතූන් නිධන් කොට තැනූ චෛත්‍යයකට වන්දනාමාන කරනු දුටු බව ලියා තිබේ.

ලක්දිවට වෙළඳාම සඳහා පැමිණි තපස්සු හා භල්ලුක වෙළඳුන් එකල ප්‍රධාන තොටුපලක් වූ ත්‍රිකුණාමලය පෙදෙසේ යාන් ඔය මුහුදට එක්වෙන තිරියාය ගල් වරායට ගොඩබට බවත්, පසුව ඒ අසල පිහිටි ගිරිකණ්ඩ පර්වතය නමින් හැඳින් වූ කදු මුදුනට ගොස්  කේශ ධාතූන් තැන්පත් කොට තිබු මංජුසාව එහි ගල් පර්වතයක් මත තබා තම වෙළඳාම් ආදී කටයුතුවල යෙදුණු බවත්, ආපසු යනවිට ඒ  මංජුසාව රැගෙන යාමට උත්සාහ ගනිද්දී එය ආපසු ගත නොහැකි ලෙස එම ගලටම සවිව තිබු බවත්, ඒ නිසා එය නිධන් කොට ඒ ස්ථානයේ මහත් භක්තියෙන් දාගැබක්  තැනවූ බවත් පුරාවෘත වල සඳහන් වේ.

ක්‍රිස්තු වර්ෂ 733 රජ වූ අග්‍රබෝධි සිලාමෙඝ රජ සමයේ ලියැවුනු සෙල් ලිපියක් මෙහි ඇත. සංස්කෘත භාෂාවෙන්  පල්ලව අක්ෂර වලින් ලියා ඇති පේලි 11 කින් සමන්විත අඩි 20 X 5 පමණ වූ මේ සෙල් ලිපිය ගිරිහඬු සෑය වර්ණනා කොට වන්දනා කෙරෙන ගීත 11ක් බව නිගමනය කොට ඇත. මෙහි අවසානයේ සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවකි.

ගිරිහඬු සෑය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45ක් පමණ උතුරෙන් පිහිටි තිරියාය ගමට මඳක් බටහිරින් වන මුහුදු මට්ටමෙන් අඩි 210ක් පමණ උස් වූ දර්ශනීය කඳු ගැටයක් මතයි. නිතිපතා දැල්වුණු පහනක් තිබුණු නිසා මෙය නිතුපත්පාන නමින් හැඳින්වී ඇත. එහෙත් ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල් ලිපි ආදිය ගවේෂණ කරන ලද 1929 පමණ කාලයේ දී මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නිතුපත්පාණ ලෙස නොව තිරියාය ලෙසයි.

ගිරිහඬු සෑ මළුවට පිවිසෙන මාර්ගය පසෙක එකල නිතුපත්පාන වැවට යාන් ඔයෙන් ජලය ගෙනගිය ඇළ මාර්ගය තරණය කරන්නට තැනූ ගල් පාලමක නටබුන් දැකිය හැකි ය.

_DSC7398
ගල් පාලම

_DSC7400_DSC7401_DSC7402

පොකුණු

ගිරිහඬු සෑ මළුවට පිවිසෙන්නට පොකුණු දෙකක් අතරින් ඇති මග ඔස්සේ ඇති පියගැටපෙළ තරණය කළ යුතු වෙයි. මේ කලාත්මක පියගැට පෙළ ද රජ සමයේ ඉදි වූ සෙනරත් පරණවිතාන ආදී විද්වතුන්ගේ නොමඳ පැසසුමට ලක්වූවකි. මේ පඩි පෙළ සඳහා නිර්මිත අත්වැල් ලීස්තර බේරා කැටයමින් යුත්, ලංකාවේ වෙනත්  කිසිදු ප්‍රදේශයකින් හමු නොවූ ආකාරයේ අපුරු නිමැවුමකි.

_DSC7403

පියගැටපෙළ

මේ පඩිපෙළ ඔස්සේ ගියවිට සෙල් ලිපියද බැලිය හැකි ය. සෙල් ලිපියට අඩි 150ක් පමණ දුරකින් ඇල්දිය උල්පතක් ද ඇත. නැවත පඩි ඔස්සේ උතුරු දෙසට මඳක් ගියවිට එය බටහිර දෙසට හැරි ඇත. මේ වංගුවෙන් උතුරේ ලංකාවේ හැඩය ගත් අඩි 100 X 30 පමණ වූ පොකුණ අලංකාර නිර්මාණයකි. පඩි පෙළ ඔස්සේ තවත් ඉහලට නගින විට වාහල් කඩේ හා මළුවේ ප්‍රාකාරයේ නටබුන් හමු වේ. මෙහි උතුරු දෙසින් වන පියගැටපෙළ පාමුල පොකුණු දෙකක් හා ගල් කණු කොරවක් ගල් ආදියෙන් සමන්විත  මැදුරක නටබුන් වේ.

_DSC7414

වාහල්කඩ දොරටුවෙන් ඇතුළු වූ පසු ගිරිහඬු සෑ වටදාගෙය හමුවේ. මෙහි වැලි මළුවේ පසෙක ගඩොලින් නිම වූ චෛත්‍යයක් හා අඩි 6.5 X 4 පමණවන තනි කළුගලින් නිම වූ ජල බඳුනකි. නැගෙනහිර පියගැට පෙලට වම් පසින් පිළිම ගෙයක නටබුන් දැකිය හැකිි ය. මේ ආසන්නයේ තවත් පිළිම ගෙවල් දෙකක නටබුන් පෙනේ. මේවායේ මුරගල් හා කොරවක් ගල් ආදිය  අපුරු නිර්මාණ වේ.

_DSC7418
කළුගලින් නිම වූ ජල බඳුන

වටදාගේ

_DSC7438

මේ පුදබිමේ ඉතාමත් ආකර්ශනිය නිර්මාණය වන්නේ සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු වටදාගෙයයි. වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි. කුඩා පරිමානයේ සෑයක්ව තිබු මේ සෑය ද සිලාමේඝ රජ පුළුල් කොට බඳවා ඇත. දැන් මෙහි විෂ්කම්භය අඩි 32.5ක් පමණවන අතර වටදාගෙයි මලුවේ  විෂ්කම්භය  අඩි 79ක් පමණ වේ. මෙහි දාගැබේ සිට අඩි 3.25ක් හා අඩි 16 පමණ දුරින් වනසේ  එක වටයක කුළුණු 16ක් හා අනෙකේ කුළුණු 32ක් වශයෙන් කුළුණු වට දෙකක් තිබී ඇත. කුළුණු හිස සමග තනි ගලින් නිම වූ  පිට වටයේ කුළුනක උස අඩි 14.5ක් පමණ වේ. මිට අමතරව ලී කණු පෙලක් ද උපයෝගී කරගෙන වහල නිමකර තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ. වටදාගෙයට ඇතුළුවීම සඳහා සිව් ‌දෙ සින්ම වාහල්කඩ හතරකි.

_DSC7439

ඒ ඉදිරියේ  සමාධි පිළිම තැන්පත් කර තිබු ගල් ආසන හතරකි. එක සමාධි ප්‍රතිමාවක් ශේෂව ඇත.

_DSC7420_DSC7421

වාහල් කඩවල ශෛලමය උළුවහු දෙකක් බැගින් ඇත. සලපතල මලුව වැලි මළුවට වඩා අඩි 4යි අඟල් 4ක් පමණ උසින් පිහිටි බැවින් ඊට පිය නැගීමට අලංකාර කැටයමින් යුත් මුරගල් හා කොරවක් ගල් සහිත පියගැටපෙළ හතරකි.

_DSC7419

ඒ කැටයම් ආදිය හා ඉදිරිපස සඳකඩ පහන් අනුරාධපුරයේ ථුපාරාම ආදියේ කැටයම් ආදියට වඩා පැරණි බව පෙනේ. වටදාගේ ඇතුලතින් බිත්ති අඩි 6ක් පමණ උස ය. පිටතින් අඩි 10.5ක් පමණ වේ. පනා බැම්ම අඩි 2යි අඟල් 4ක පමණ ගනකමින් යුක්ත ය.

_DSC7434

වටදා ගෙයට දකුණෙන් හා බටහිරින් ඔත් පිළිම ගෙයක හා හිටි පිළිම ගෙයක නටබුන් ඇත. තවත් විශාල ගොඩනැඟිල්ලක හා දෙවොලකැයි අනුමාන කෙරෙන නටබුන් ද දැකිය හැකි ය.

_DSC7433_DSC7437_DSC7435

ලෙන්

_DSC7404

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනෙන් පසු මේ පුදබිමේ ද ලෙන්වල කටාර කොටා මහ සඟරුවනට පුජා කොට ඇත. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවස පමණ වනවිට ගිරිහඬු සෑය පිහිටා ඇති පුදබිම නිතුපත්පාන යනුවෙන් හැඳින්වෙන රහතන් වහන්සේලා පවා වැඩසිටි ථෙරවාදී පුදබිමකි. අටවන සියවස පමණ වන විට මෙය මහායානික පුදබිමක් බවට පත්ව ඇති බව පෙනේ. තිරියාය සෙල් ලිපියෙහි අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්ව වරුන් ද වන්දනා කොට  ඇත. අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාවිකයන්ගේ විශේෂ වන්දනාවට පාත්‍රවී ඇත. එහෙයින් වරායක් අසල වූ මේ පුදබිමද ජ්‍යාත්‍යන්තර සබඳතාවන් නිසා මහායානික ඉගැන්වීම් වලට විශේෂ තැනක් දෙන්නට ඇත. විදේශ වල ද ධර්ම ප්‍රචාරක කටයුතු කල අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ එකල මෙහි අධිපතිත්වය දරා ඇත.

පුරාවිද්‍යා ගවේෂණ වලින් අනාවරණය වී ඇති පිළිම ගෙවල් හයෙන් දෙකක් අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්වයන් උදෙසා යයි සිතති. 1983 දී කරන ලද කැනීම් වලදී කුඩා බුදු පිළිම 31ක් බෝධිසත්ව පිළිම 11ක්‌ හා තාරා දෙවඟනගේ කුඩා පිළිම 3ක්‌ හමු වී ඇත.

DSC06981
තිරියාය පරිශ්‍රයේ තිබී සොයාගත් වජ්‍රධර්ම ලෝකේශ්වර මහායාන ප්‍රතිමාවක් (කොළඹ ජාතික කෞතුකාගාරය)

දොළොස්වන සියවසේ දී සිදුවූ සොළී ආක්‍රමණ නිසා ජනයා මේ පෙදෙස් අතහැර ගිය බැවින් මේ පුදබිම වල් බිහි වින. සියවස් ගණනනාවක් තිස්සේ වනය තුල සැඟව තිබු මේ පුදබිම ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද මාහිමියන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැපවීමෙන් ඉටුකරනලද කාර්ය භාරය නිසා එලි පෙහෙළි වින. ඉන් පසු ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නාහිමියන් මේ පුදබිමේ භාරකාරිත්වයට පත්විණ. එහෙත් 1985 දී පමණ කොටි ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශය ග්‍රහණයට ගෙන කරන ලද බෝම්බ  පිපිරවීම් ආදී හේතු නිසා මේ පුදබිමේ ඉදිකර තුබූ ගොඩනැගිලි නැවත විනාශයට පත්විය. නැවත 2002 පමණ සිට මෙහි සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත.

_DSC7465
බෝධීීීීන් වහන්සේ

මේ පුදබිම දැක බලා ගැනීම මෙන්ම රැක බලා ගැන්ම ද අපේ යුතුකමයි.

girihanduseya
ත්‍රිකුණාමලයේ සිට ගමන් මඟ

 

---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.12.10 වැනි දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

සමාජ නව්‍යයකරණය හේතුවෙන් අභාවයට යන පොල්ලේබැද්ද ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය

බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ‌හෝමාගම

හැදින්වීම

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

ලෝකයේ ඉපැරණි මනුෂ්‍ය ජන කණ්ඩායම් අතර විශේෂ ස්ථානයක් ශ‍්‍රී ලංකාවේ ආදිවාසි වැදි ප‍්‍රජාවට හිමි වේ. මුල් කාලීන ව ඌව, මධ්‍යම හා උතුරුමැද පළාත්වල විශාල වශයෙන් ජීවත් වූ ආදිවාසී ප‍්‍රජාව දහ අටවන සියවසේ දෙ වැනිි භාගය වන විට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට සීමා විය. කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මොවුන් පිළිබද ඉංග‍්‍රීසි සමයේ සිට අවස්ථා කිහිපයක දී මානව විද්‍යාත්මක අධ්‍යයන සිදු විය. හෙන්රි පාකර් වැදි ජනයාගේ ප‍්‍රභවය, සමාජ ස්ථරණය, සිරිත්විරිත් හා ඇදහිලිවිශ්වාස පිළිබද පූර්ණ විමර්ශනයක් සිදුකරන ලදි. ශ‍්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබදව සැරසීන් යුගලය පර්යේෂණයක් සිදු කළ අතර සෙලිග්මාන් යුවල භෞතික හා සංස්කෘතික දෘෂ්ටියෙන් වැදිජනතාව පිළිබදව අධ්‍යයනය කළහ. ඊට අමතරව ආර්.එල්. ස්පිටල්, නන්දදේව වීරසේකර, කේ.එන්.ඕ. ධර්මදාස, පී.ඊ.පී. දැරණියගල හා ප‍්‍රිශාන්ත ගුණවර්ධන වැනි දෙස්විදෙස් පර්යේෂකයන් කිහිප දෙනෙකු ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබදව මානව විද්‍යාත්මක අධ්‍යයන සිදුකොට ඇත.

මෙහි දී බලාපොරොත්තු වන්නේ දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප‍්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද ග‍්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත‍්‍රවාරිත‍්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලු පිළිබද ව අවධානය යොමු කිරීමට අපේක්ෂිත ය.

පර්යේෂණ ගැටලුුව

සමාජ නවීකරණය හමුවේ පරිහානියට පත්වන පොල්ලේබැද්ද ආදිවාසී සංස්කෘතික සන්දර්භය කළමනාකරණය කරන්නේ කෙසේ ද? යන්න විමසා බැලීම.

පර්යේෂණ අරමුණ

පොල්ලේබැද්ද සාම්ප‍්‍රදායික ගම්මානය ආශ‍්‍රිත දේශපාලන, ආර්ථික, සාමාජික හා සංස්කෘතික පසුබිම අධ්‍යයනය කිරීම.

ක‍්‍රමවේදය

සමාජ මානව විද්‍යා අධ්‍යයනවල දී දත්ත රැස්කිරීම සදහා භාවිත කරන ගුණාත්මක දත්ත රැස්කිරීමේ විධික‍්‍රමයට අදාළ නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප‍්‍රශ්නාවලි හා කේවල අධ්‍යයන ආදි ක‍්‍රමවේද යොදාගන්නා ලදි.

ප‍්‍රතිඵල හා සාකච්ඡාව

පාරිසරික හා සමාජ ගැටලුු කිහිපයකට මුහුණ දීමට සිදු වූ දානිගල, හේනෙබැද්ද හා බිංගොඩ ජීවත් වූ ආදිවාසී ප‍්‍රජාවට තම වර්ගයාගේ පැවැත්ම පවත්වාගෙන යාම උදෙසා විකල්ප ස්ථානයකට යාමට සිදු විය. ඔවුන්ගේ නව වාසභූමිය පොල්ලේබැද්ද සිංහල ගම්මානය වූ අතර ඒ සදහා කිරිබණ්ඩා මුලාදෑනියා හා එක්ව සැලසුම් කරන ලද්දේ වෛද්‍ය ස්පිට්ල් විසිනි (කුරුප්පු 2012:16-17). ක‍්‍රිස්තු වර්ෂ 1940 දශකයේ සිට වර්ධනය වූ පොල්ලේබැද්ද වැදි ප‍්‍රජාව වර්තමානය වනවිට පරම්පරා හතරකට අයත් පවුල් 150ක් පමණ වේ (සම්මුඛ සාකච්ඡාව, අප්පුහාමිලා ඇත්තෝ, 2017.9.30).

තම වර්ගයාගේ ව්‍යාප්තිය ප‍්‍රමාණාත්මක ව වර්ධනය කර ගැනීමට පොල්ලේබැද්ද ආදිවාසි ප‍්‍රජාව යම් තරමකට සමත් වුව ද ඔවුන්ට ආවේණික ගතිකයන් හා සංස්කෘතික අංග හීනවීම කණගාටුවට කරුණකි. ස්වභාවයෙන් ම වනචාරී ජීවිතයක් ගතකළ ඔවුන් වර්තමානයේ සාමාන්‍ය සමාජයේ ජීවත්වන පවුලක භූමිකාව ගත කරති. හේන් ගොවිතැනට වැඩි රුචිකත්වයක් දක්වන ඔවුන් කුඹුරු ආශ‍්‍රිතව වී වගාව ද සිදු කරති. ඇතැම් පිරිස් සිංහල ගම්මානවල කුලී වැඩවලට යාමට පුරුදු වී ඇති අතර මුදල් ඉපයීමේ අපේක්‍ෂාවෙන් ස්ත‍්‍රීපුරුෂ බේදයකින් තොරව වෙළෙඳ කලාපවල රැකියාවලට යාම ද දක්නට ලැබේ (අප්පුහාමිලා ඇත්තෝ, 2017.9.30). 

ආදිවාසි සංස්කෘතික සන්දර්භය තුළ පැවති විවාහ චාරිත‍්‍ර හා සිරිත්විරිත් වර්තමානයේ දක්නට නොලැබෙන අතර බොහෝ අවස්ථාවල සිංහල සමාජය සමග මිශ‍්‍ර විවාහ සිදු වේ. සාම්ප‍්‍රදායික රාමුව තුළ දිය ලණු පොජ්ජෙන් සනිටුහන් වූ විවාහය වර්තමානයේ දී ලියාපදිංචි කිරීම දක්වා පරිණාමයට පත්ව ඇත (බණ්ඩාර, 2017.9.30).

ඊට අමතරව ගර්භණී අවස්ථා, දරුවන් බිහිවීම හා පෝෂණය කිරීම ආදී සියලුු කටයුතු ද සාමාන්‍ය සිංහල පවුලක සිදුකරන ක‍්‍රමවේදයට අනුව සිදුකරති (ගුණබන්ඩිලා ඇත්තෝ, 2017.9.30).

අවමංගල්‍ය කටයුතු ද සිදුවන්නේ සාමාන්‍ය සමාජයේ අපට දක්නට ලැබෙන සිරිත්විරිත්වලට අනුව ය. පුද්ගලයකුගේ මරණයත් සමඟ සිදු කෙරෙන පූර්ව කටයුතුවලින් පසුව දින තුනක් නිවසෙහි දේහය තබාගන්නා අතර අවසන් කටයුතු ඔවුන් වර්තමානයේ අදහන බෞද්ධාගමික ක‍්‍රමවේදයට අනුව සිදු වේ. ඊට අමතර ව මියගිය ඥාතීවරයාට පිං පැමිණවීම ද දින 7, මාස 3 හා වාර්ෂිකව සිදුකරනු ලබයි (ගුණබන්ඩිලා ඇත්තෝ, 2017.9.30).

දානිගල සාම්ප‍්‍රදායික වැදි ගම්මානයේ ජීවත් වූ ආදිවාසීන් පුද්ගල නාම වශයෙන් ගුණ බණ්ඩිලා ඇත්තෝ, රන්දුන්නා, කළු බන්ඩිලා ඇත්තො, කයිරී හා තාදි ආදී නම්වලින් හැදින් වුව ද පොල්ලේබැද්ද ගම්මානයේ වර්තමානයේ ජීවත්වන ආදිවාසීන් වැඩිපිරිසක් හදුන්වනු ලබන්නේ ජයරත්න, ගුණසේන, කුමාර, නන්දාවතී, හීන්මැණිකා ආදි සිංහල නම්වලිනි. වර්තමානයේ ජීවත්වන ඇතැම් කාන්තාවන් විවිධත්වයෙන් යුක්ත ඇදුම් හා විලාසිතාවන්වලට වැඩි රුචිකත්වයක් දක්වන බව පෙනේ.

පොල්ලේබැද්ද ගම්මානයේ වර්තමානයේ ජීවත්වන ආදිවාසීන්ගේ නුතන ඇදුම් ආයිත්තම්
පොල්ලේබැද්ද ගම්මානයේ වර්තමානයේ ජීවත්වන ආදිවාසීන්ගේ නුතන ඇදුම් ආයිත්තම්

ඊට අමතරව පාරම්පරික ව උරුම ව තිබූ සාම්ප‍්‍රදායික වෙදකම, භාෂාව්‍යවහාරය, සරල ජීවන පැවැත්ම, සෞඛ්‍ය සම්පන්නභාවය, පාරිසරික අන්‍යතාව හා උරුමය මේ වනවිට අහිමි වී තිබේ. එම හේතුව  නිසාම පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානය තුළ ගැටලුු රාශියක් දක්නට ලැබේ. එහි දී විශේෂ වශයෙන් ප‍්‍රමාණවත් පරිදි රාජ්‍ය අනුග‍්‍රහය නොලැබීම ප‍්‍රබල ගැටලුුවකි. බිංගොඩ පරපුර නියෝජනය කරන දැනට ජීවත්ව සිටින ආදිතමයා වූ ආදිවාසී නායක ගෝබාගේ තත්ත්වය අතිශයින් ම කණගාටුදායක ය. වයෝවෘද්ධ තත්ත්වයට පත්ව රෝගීව ගත කරන ඔහුගේ පැවැත්මට මෙන්ම සෙසු වර්ගයාගේ පැවැත්ම දෛනික ව පරිහානියට පත්වේ. වැදි ජනතාවට වනාන්තරය සීමා කිරීම, වන සතුන්ගෙන් බෝග විනාශ වීම, වගාකටයුතු සදහා කෘමිනාශක හදුන්වා දීම, ජලය හිගවීම, වගා කටයුතු සදහා ඉඩම් ප‍්‍රමාණවත් නොවීම, විවිධ රෝගවලට ගොදුරුවීම, කෘෂි උපකරණ ප‍්‍රමාණවත් පරිදි ලබා නොදීම හා මත්පැන්වලට බොහෝ දෙනෙකු පුරුදු වීම වර්තමානයේ දක්නට ලැබෙන ගැටලුු ලෙස හදුනාගත හැකි ය.

වර්තමානයේ පොල්ලේබැද්ද ගම්මානයේ ජීවත්වන වැඩිහිටි බොහෝ දෙනෙකුගේ අදහස තම වර්ගයාට උරුම වූ සාම්ප‍්‍රදායික ගතිකයන් ආරක්ෂා කරගැනීමට විධිමත් සැලසුමක් අවශ්‍ය වන බවයි. එහිදී සාම්ප‍්‍රදායික ජන ජීවිතයට උචිත ඒ සදහා සුදුසු සීමාවක් (වනාන්තරයක්) තමන්ට ලබාදෙන්නේ නම් එහි ජීවත්වීමට වැඩිහිටි බොහෝ දෙනෙකු රුචිකත්වයක් දක්වයි (කිරිබණ්ඩා 2017.9.30). එහි සාර්ථකත්වය පිළිබදව පූර්ව නිගමනයන්වලට එළඹීමේ හැකියාවක් නොමැති වුව ද පොල්ලේබැද්ද ආදීවාසි සංස්කෘතියට ආවේණික ගතිකයන් ආරක්ෂා කරගැනීමට විධිමත් වැඩසටහනක අවශ්‍යතාව පවතී. ඒ සදහා මීට වර්ෂ කිහිපයකට පෙර රඹකැන් ඔය ජලාශය ආසන්නයෙහි සාම්ප‍්‍රදායික උරුම කෞතුකාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද එය ගොඩනැඟිලි ඉදිකිරීම දක්වා සීමා වී ඇත.

රඹකැන් ඔය ජලාශය ආසන්නයෙහි සාම්ප‍්‍රදායික උරුම කෞතුකාගාර ගොඩනැගිල්ල
රඹකැන් ඔය ජලාශය ආසන්නයෙහි සාම්ප‍්‍රදායික උරුම කෞතුකාගාර ගොඩනැගිල්ල

අවම වශයෙන් දැනට ඉදිකර ඇති ගොඩනැඟිලි යොදාගෙන පොල්ලේබැද්ද සංස්කෘතික සන්දර්භයට අයත් උරුමය සංරක්ෂණය කිරීමට හා ඉදිරියට පවත්වාගෙන යාමට සැලසුම් කළ හැකි නම් දේශීය හා විදේශීය සංචාරකයන් පහසුවෙන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව පවතී. එය කලාපීය මෙන්ම ජාතික ආර්ථිකය පෝෂණය කිරීමට ද හේතු වේ. අදාළ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සදහා කලාපයට ආවේණික ස්වභාවික ලෙන් හා පාරිසරික සාධක පැවතීම අමතර වාසියකි. ඒ අනුව පොල්ලේබැද්ද ආදිවාසී සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම මෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනීම යුගයේ අවශ්‍යතාවකි. එසේම වගකීමකි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • කුරුප්පු, රසල් (2012), පොල්ලේබැද්ද වැදිජනතාව, පර්වර්තනය, ආනන්ද හේරත්, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
  • Seligmann, C.G. & Brinda Z. Seligmann (2009), The Veddas, පරිවර්තනය, නිස්සංක පෙරේරා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

සම්මුඛ සාකච්ඡා

  • අප්පුහාමිලා ඇත්තෝ, 9.30 දින, පොල්ලේබැද්ද.
  • ගුණ බණ්ඩිලා ඇත්තෝ, 9.30 දින, පොල්ලේබැද්ද.
  • ජී.එම්.ආර්. බණ්ඩාර, සංස්කෘතික සංවර්ධන සහකාර, 9.30 දින, මහඔය.
  • දානිගල මහබණ්ඩලාගේ කිරිබණ්ඩා, 2017.9.30 දින, පොල්ලේබැද්ද.
-----------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.12.3 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------

අනුරපුරයේ පිහිටි ජේතවන විහාරය

එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය ‘ආලෝකය විහිදුවන උයන’ යන අරුතෙන් එය ‘ජෝතිවනය’ නමින් පතළව පසුව ජේතවනය නම් විය.

මහා විහාරයේ භික්ෂුන් වයිතුල්‍යවාදය පිළිගැනීමට එකඟ නොවීම නිසා ‘ඔවුනට දන් නොදිය යුතුය යි’  මහසෙන් රජුගේ අණක් වුයෙන් මහා විහාර වාසි භික්ෂුන් වහන්සේලා රුහුණට හා කඳුකරයට පලා යන ලදී. එහෙයින් මහා විහාරය ජන ශුන්‍ය විය. ඉන් පසු මහා විහාර ගොඩනැඟිලි සම්පුර්ණයෙන් ඉවත්කර ඒ ගොඩනැඟිලි ද්‍රව්‍ය වලින් ජේතවනයේ නව ආරාමික සංකීර්ණයක් ඉදිකිරීමට සංඝමිත්ත නම් භික්ෂුවක් මහසෙන් රජු පොළඹවන ලදින් ක්‍රිස්තු වර්ෂ 276 -303 පමණ කාලයේ රජ වූ මහසෙන් රජතුමා විසින් ජේතවනය ඉදිකරන ලදී. රජුගේ මේ කටයුත්ත මහජන කැළඹීමකට හේතු විය. පසුව මහා විහාරය ද නැවත ඉදිකරන ලද අතර ජේතවනය දක්ෂිණ විහාරයේ වාසය කළ භික්ෂුන්ට පුජා කරන ලදී. ජේතවනයේ විසු මේ භික්ෂුන් ඇරඹු නිකාය සාගලික නිකාය වශයෙන් ප්‍රචලිත විණ.  පැරණි ලේඛනයන්හි මේ විහාරය හා නිකාය දෙනාවෙහෙර, දෙනානකය ආදී නම් වලින් හැඳින් වී ඇත.

ජේතවන ආරාම සංකීර්ණය හාල්පාන් ඇල හා මල්වතු ඔය අතර හෙක්ටයාර 80ක පමණ භුමි භාගයක පැතිර පවතී. මෙහි ජේතවනයේ ප්‍රධානතම ඉදිකිරිම වන ජේතවන ස්තුපය හා ආරාම, ප්‍රතිමා ගෘහ, පිරිවෙන් ආදියේ නටබුන් දැකිය හැකි ය.

මහසෙන් රජුගේ සිට මහා පැරකුම්බා රජු දක්වා බොහෝ රජවරුන් මෙහි සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත. 1215 දී පමණ අනුරාධපුරය මාඝට යටත්වීම නිසා ජේතවනය ද පසුව වල් බිහි විය. 1890 දී පමණ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයා වූ බෙල් මහතා මෙහි ගවේෂණ කටයුතු ආරම්භකර ඇත.

ස්මාරකවල පිහිටීම

jetavana

  1. ජේතවන ස්තුපය
  2. පිළිම ගෙය 1
  3. පන්චායතන පිරිවෙන්
  4. ගල් ගරාදි වැට සහ බෝධිඝරය
  5. කෞතුකාගාරය
  6. පොකුණ
  7. දියසෙන් පහය
  8. ජන්තාඝරය
  9. දාන ශාලාව
  10. පිළිම ගෙය 2

ජේතවන කෞතුකාගාරය

1981 පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජේතවන සංරක්ෂණ කටයුතු ආරම්භකරන ලදී. මෙහි කැනීම් ආදියෙන් සොයාගත් ශෛලමය කැටයම් ආදිය, පිඟන් හා මැටි භාණ්ඩ, ලෝහ උපකරණ, රන් රිදී ආභරණ, කාසි වර්ග, මුතු, පබළු, ආදී බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ ජේතවන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. ජේතවන නටබුන් නැරඹීමට පෙර මේ කෞතුකාගාරය නැරඹීම වටී.

ජේතවන ස්තුපය

Anuradhapura
ජේතවන ස්තුපය

එක පැත්තක් අඩි 576ක් වූ චතුරශ්‍රාකාර උස බිමක (අක්කර අටක පමණ භුමි ප්‍රදේශයක) අඩි 400ක් පමණ උසකින් යුක්තව පුළුස්සන ලද ගඩොළු මිලියන 93කටත් වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇතැයි සැලකෙන ජේතවන ස්තුපය ලෝකයේ ගඩොලින් නිමකරන ලද විශාලතම ඉදිකිරීමයි. එය පෞරාණික ගොඩනැඟිලි අතර තෙ වැනි විශාලතම ස්මාරකයයි. ලෝකයේ නටබුන්ව පවතින උසම පුජනිය ගොඩනැඟිල්ලයි. එහි ව්ෂ්කම්භය අඩි 367කි. බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් මෙහි නිධන් කර ඇතැයි පැරකුම්බා සිරිතේ සඳහන්ව ඇතිබව කියති. පැරණි ශ්‍රී ලාංකිකයන්ගේ ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන මෙහි අත්තිවාරම පොලව යට පිහිටි ගල් තට්ටුවේ සිටම නිර්මාණය කර ඇති බව කියති. අවුරුදු 1600කටත් වැඩි කාලයක් තිස්සේ ආරක්ෂා වී ඇති විශාල බරක් දරාසිටිය හැකි ආකාරයට සැලසුම් කොට ගඩොළු බැඳ තිබීම විශ්මය ජනක ය. කොත් කැරැල්ල දක්වා දැනට ශේෂ වී ඇති මේ ස්තුපයේ උස මීටර් 73කි. පැරණි කැටයම් සහිත වාහල්කඩ හතරකි. සල පතල මළුවේ ගල් පුවරු වල පරිත්‍යග ශිලින්ගේ නම් සඳහන්ව තිබෙනු පෙනේ.

Anuradhapura
ගල් පුවරු වල පරිත්‍යග ශිලින්ගේ නම්
Anuradhapura
වාහල්කඩ
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපිය
Anuradhapura
ප්‍රවේශ මණ්ඩපයක්

ගල් ගරාදි වැට සහ බෝධිඝරය

Anuradhapura
බෞද්ධ ගල් ගරාදි වැට
Anuradhapura
බෞද්ධ ගල් ගරාදි වැට
Anuradhapura
බෝධිඝරය

ජේතවන කෞතුකාගාරයට පිටුපසින් අලංකාර ගල් ගරාදි වැටකින් ආවරණය වූ ගොඩනැඟිල්ලක් දක්නට ඇත. මෙය පැරණි බෝධිඝරයක් ලෙස සමහරු හඳුන්වති. දෙ වැනිි අග්බෝ රජතුමා මේ අසල ලිඳක් කැනවු බව සඳහන්ය. මෙහි කරන ලද කැනීම් වල දී මල් ආසන, ජල මාර්ග බෝ කොටුව ආදිය හමු ව ඇත. මේ ආසන්නයේම පැරණි රත්නමා පිරිවෙන තිබුණු බව අනුමාන කෙරේ. විල්ගම් මුලය හා සෙනෙවිරද් මුලය යන අධ්‍යාපන පාර්ශවයන් ජේතවනයට අයත් ඒවාය.

පොකුණු

Anuradhapura

විවිධ අවශ්‍යතාවන් සඳහා ජලය එක්රැස්කර තබාගැනීම සඳහා ඉදිකරන ලද කලාත්මක නිර්මාණ කීපයක් ජේතවන පරිශ්‍රයේ දී දැකගත හැකි ය.

Anuradhapura
ආරාම සංකීර්ණයේ තවත් අලංකාර ලිඳක් – යතුරු ‌පොකුණ

පතුලට බැසීමට පඩි පෙළක් සහිත මේ ළිඳ වෘත්තාකාරව ගඩොලින් නිම කොට ඇත. මහාවංශයේ සඳහන් වන දෙ වැනිි අග්ගබෝධි රජතුමා මේ අසල ඇති බෝධිඝරය සඳහා ඉදිකළ ලිඳ මෙය විය හැකිි ය.

Pond

මෙහි සිදුකරන ලද කැනීම් වල දී සොයාගත් ලක්‍ෂ්මි දෙවඟනගේ හා ජලාශ්‍රිත සතුන්ගේ ලෝකඩ රුප සහිත ශෛලමය මන්ජුසාවක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

දියසෙන් පහය

Uposathagaraya
දියසෙන් පහය ‌හෙවත් උපෝෂතඝරය

ගල් ටැම් 176කින් සැදුම්ලත් පොහොය ගෙයක් හෙවත් උපෝෂතාඝරයක් දාගැබට ගිනිකොන දෙසින් දක්නට ඇත. දිගින් අඩි 100 හා පළලින් අඩි 50 යුක්ත  මෙය දියසෙන් පහය යනුවෙන් ද හඳුන්වා ඇති බව පෙනේ.

ජන්තාඝරය  

Anuradhapura

ගිලන් වූ භික්ෂුන් වහන්සේලාගේ ශරීරයේ විවිධ ඖෂධ වර්ග ගල්වා හුමාලයෙන් ස්නානය කරවීම සඳහා භාවිත කළ ගෘහයක නටබුන් උපොෂතාගාරයට මඳක් ඔබ්බෙන් දැකිය හැකිි ය. චතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලක් වන මෙහි බිමට ගල් පුවරු අතුරා ඇති අතර අපවිත්‍ර ජලය පිටකිරීමට කානු සකසා ඇත. ගඩොළු බිත්ති මත වහලක් හා උෂ්ණත්වය පාලනය කිරීම සඳහා කවුළු තිබෙන්නට ඇත.

දාන ශාලාව

AnuradhapuraAnuradhapuraAnuradhapura

ස්තුපයට නැඟෙනහිරින් ජේතවන දාන ශාලාව පිහිටා ඇත. පොලවට ගල් පුවරු අතුරා සකස් කොට ඇත. වහල දරා සිටින්නට ඇතැයි සැලකෙන ගල් කණු 84ක් දක්නට ඇත. මෙහි ඇති ශෛලමය දැන් ඔරුවේ 3,000ක් පමණ වූ භික්ෂුන් වහන්සේලාට දන් සපයන්නට හැකිවන්නට ඇත.

පිළිම ගෙවල්

Anuradhapura

Anuradhapura
ගර්භය හා  බුදු පිළිමයේ පාදම
Anuradhapura
ගර්භ පාත්‍රයක්
Anuradhapura
ප්‍රදක්ෂිණා පථය

ජේතවන පරිශ්‍රයේ පිළිම ගෙවල් දෙකක නටබුන් හමු වේ. ඉන් ස්තුපයට බටහිරින් ඇති පිළිම ගෙය මුල් තැන ගනී. එහි දැනට අඩි 27ක් පමණ උස් වූ ශෛලමය උළුවස්සක නටබුන් දැකිය හැකිි ය. එහි ප්‍රවේශ ශාලාව, ප්‍රදක්ෂිණා පථය හා ගර්භය දැකිය හැකිි ය. ගර්භ ගෘහයේ බුදුරුවක් තිබී ඇත. දැනට පිළිමයෙහි පතුල සවිකර තිබු පද්මාසනයේ හා ගර්භ පාත්‍රයෙහි කොටස් ඉතිරිව ඇත. මේ කොටස් අනුව පිළිමය අඩි 37ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. පිළිමය හුණු ගලින් නෙලා තිබෙන්නට ඇති අතර එය ගින්නෙන් විනාශ වන්නට ඇත. ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමා ගෘහයේ පියස්ස අඩි 50ක් පමණ උසකින් ගෝලාකාරව තිබෙන්නට ඇත. මෙය 9 වන සියවසේ දී පමණ පළමු වැනිි සේන රජතුමා ඉදිකළා යයි පැවසෙන මනිමේඛලා ප්‍රසාදය වන්නට ඉඩ තිබේ.

Anuradhapura

ජේතවනයේ පැරණිම පිළිමගෙය ලෙස සැලකෙන ප්‍රාකාර බැඳ පස් පුරවා පොලව මට්ටමට ඉහලින් ඉදිකරන ලද ගන්ධකුටි සම්ප්‍රදායේ ගොඩනැඟිල්ලක් ස්තුපයට ගිනිකොන දෙසින් දැකිය හැකිි ය. මිට කුඩා පරිවාර පිළිම ගෙවල් දෙකක් තිබුණු බව නටබුන් වලින් පැහැදිලි වේ.

ධර්ම ශාලාව

AnuradhapuraAnuradhapura

දහම් දෙසීමට හා ඇසීමට යොදාගන්නා ලද සිව් දෙ සින්ම දොරටු සහිත ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ල මැද කැටයම් සහිතව උස අසුනක් ඉදිකර ඇත. ක්‍රිස්තු වර්ෂ 522 – 535 සිලාකාල රජ සමයේ වාර්ෂිකව ඇතුළු නුවර සිට ජේතවනාරාමයට ගෙනෙන ලද දහම් පුස්තකයක් මෙවන් ශාලාවක තබා පුදපුජා කිරීමේ සිරිතක් තිබුණු බව සඳහන්වේ. ජේතවන භික්ෂුන්වහන්සේලාගේ පුජාවන්ට භාජනය වූවාසේ සැලකෙන පංච විංසතිසාහශ්‍රිකා නම් දෙවන සියවසට පමණ අයත් හා හයවන සියවසේදී පමණ මහායානිකයන් විසින් ලංකාවට ගෙනෙන ලදැයි සැලකෙන ධර්ම ධාතු රන්පොතෙහි පත්‍රිකා කීපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. 

පන්චායතන පිරිවෙන්

AnuradhapuraAnuradhapura

ජේතවන පරිශ්‍රයේ පන්චයතන පිරිවෙන් යනුවෙන් හැඳින්වෙන නේවාසිකාගාර ගොඩනැඟිලි 15ක් පමණ දක්නට ලැබේ. පන්චායතනයක මධ්‍යයේ ප්‍රධාන ගොඩනැඟිල්ලකි. සිව් කොන ඊට මුහුණ ලා ඇති කුඩා ගොඩනැඟිලි හතරකි. ඒ ගොඩනැඟිලි පහ වටා දොරටුවක් සහිත ප්‍රාකාරයකි. මේවා භික්ෂුන් වහන්සේලාගේ නේවාසික හා අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කොට ඇත. මේවායේ ප්‍රධාන ගොඩනැඟිලිවලට අමතරම වැසිකිලි, කැසිකිලි, ගිනිහල් ගෙවල් ආදිය ද තිබී ඇත.

කැසිකිලි

AnuradhapuraAnuradhapura

ජේතවන ආරාම වල කැසිකිලි වලින් පරිසරයට හානියක් නොවන ආකාරයට මුත්‍රා බැහැර කරන ලද බව පෙනේ. කැසිකිලි ගලේ සිදුරට යටින් අඟුරු, හුණු, අළු හා වැලි ආදිය පිර වූ පතුලේ සිදුරු සහිත මුට්ටි කීපයක් එකක් යටින් එකක් වශයෙන් තබා ඒවා හරහා මුත්‍රා ගමන්කොට පිරිසිදු වී පොලවට උරා ගන්නා ආකාරයට පිළියෙළ කොට තිබී ඇත. එසේ හමුව ඇති මුට්ටි කීපයක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

Anuradhapura

..................................................................................
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.11.27 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.
..................................................................................