Home Blog Page 13

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ අසම්පූර්ණ සටහනක්…

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

චන්දිම බණ්ඩාර අඹන්වල

හැඳින්වීම

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. ‘නියෝ’ (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් ‘ලිතික්’ (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

මහාචාර්ය වි. ගෝර්ඩ්න් චයිල්ඩ්

බටහිර කලාපයේ බිහි වූ ප‍්‍රමුඛ ඝණයේ විද්වතෙකු මෙන් ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයෙකු වශයෙන් සැලකෙන මහාචාර්ය වි. ගෝර්ඩ්න් චයිල්ඩ් (V. Gorden Childe) විසින් මානව පරිණාම ගමන් මාර්ගයේ ඊට පූර්වතර යුගයන් සමඟ සැසදීමේ දී විශේෂ සලකුණු සහිත මෙම යුගය හැඳින්වීම සඳහා පළමු ව ‘නියෝලිතික’ යන්න භාවිත කොට එම කාලපරිච්ඡේදයට අදාළ විශේෂ ලක්‍ෂණ පැහැදිළි කර දී ඇත. නියෝලිතික යුගය මානව ඉතිහාසයේ විප්ලවීය යුගයක් හෙවත් ආපසු හැරවිය නොහැකි අන්දමින් මානව පරිණාමයේ සිදු වූ වර්ධනීය අවස්ථාවක් ලෙසින් හඳුන්වා දුන් ඔහු එය ‘නියෝලිතික විප්ලවය’ (Neolithic Revolution) ලෙසින් ද හඳුන්වන්නට විය. මෙම යුගය ඊට පූර්ව යුගයන්ගෙන් වෙන් කොට හඳුනාගැනීම සඳහා මහාචාර්ය චයිල්ඩ් වැදගත් කාරණා තුනක් ගෙනහැර දක්වයි. එනම්, අ. ප්ලයිස්ටෝසීන යුගයේ සත්ව සංහතියට සමාන නොවන සත්ව සන්හතිය, ආ. කැපුම් මෙවලම්වල දාරය හුදු ඇතිල්ලීමක් වෙනුවට මුවහත් හෝ ඔපවත් කර තිබීම හා ඇ. සත්ව ගෘහකරණය සහ පැළෑටි වගාව පිළිබඳ සාදක වශයෙනි. ඒ අනුව, යම්කිසි පුරාවිද්‍යා ස්ථානයකින් හෝ සන්දර්භයකින් උක්ත සාදක පරිපූර්ණ වන්නේ නම් එයින් නවශිලා යුගය නිරූපණය කරන බව සැලකිය හැකි වේ.

නවශිලා යුගයේ පොදු ලක්‍ෂණ

පොදුවේ සලකා බැලීමේ දී ලෝක මානව පරිණාම ගමන් මාර්ගයේ විශේෂ කාලපරිච්ඡේදයක් වශයෙන් හඳුනාගත හැකි හැකි නවශිලා හෙවත් අලුත් ගල් යුගයට ආවේනික ලක්ෂණ ගණනාවක් ඒ පිලිබඳ අධ්‍යයන සිදුකළ විද්වතුන් විසින් පෙන්වා දී ඇත. ඒවා පහත දැක්වෙන ආකාරයෙන් පෙළ ගස්වා දැක්විය හැකි වේ.

  1. මෙය අදින් වසර 12,000කට පමණ පෙර ලෝක පරිමාණයෙන් සිදු වූ සිදුවීමකි. මිනිසා හා පරිසරය අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාවේ උත්කෘෂ්ට අවස්ථාවකි.
  2. අදින් වසර 11,000-14,000කට පමණ පෙර සතුන් හා ශාක (බාර්ලි, තිරිඟු, වී, ගවයා, එළුවා හා බැටළුවා) හීලෑ කිරීම ආරම්භ විය.
  3. යැපීම් ක‍්‍රමවේදයේ පැහැදිළි වෙනසක් සිදු වීම
    අ. දඩයම හා ද්‍රව්‍ය එක්රැස් කිරීමේ ජීවන ශෛලියේ (Hunting & gathering) වැදගත්කම අඩු වී කෘෂිකර්මය පදනම් කොටගත් ජිවන ශෛලියකට මානවයා පරිවර්තනය වීම හා ඒ ඔස්සේ ස්ථිර වාසස්ථාන (Sedentary/village settlement) නිර්මාණය කරගැනීමට නැඹුරු වීම
    ආ. සංචාරක ජීවිතය ක‍්‍රමයෙන් අඩු වී ආහාර නිපදවා ගනිමින් එකම ස්ථානයක් තුළ වැඩිකාලයක් විවේකයෙන් ජීවිතය (Sedentary life) පවත්වාගෙන යාමට නැඹුරු වීම
    ඇ. බාර්ලි, තිරිඟු හා වී වැනි ධාන්‍ය වගාව (Cereal cultivation) ආරම්භ කිරීම
    ඈ. තාක්‍ෂණය භාවිත කරමින් වගා කටයුතු පුළුල් කරමින් කෘෂිකර්මය ආරම්භ කිරීම
    ඉ. ධාන්‍ය වර්ග භාවිතයට වැඩිවැඩියෙන් නැඹුරු වීම
    ඊ. ද්විතීය මට්ටමේ පාරිභෝගික ද්‍රව්‍ය (සත්ව නිෂ්පාදන හා සකසන ලද ආහාර වර්ග) භාවිත කිරීමට වැඩි කැමැත්තක් දැක්වීම
  4. තාක්‍ෂණය කැපී පෙනෙන ලෙස වෙනස් වීම
    අ. වඩා සියුම් කැපුම් මුවහත සහිත උල් ආයුධ භාවිත කිරීමට ඇති කැමැත්ත වැඩි වීම
    ආ. මතුපිට ඔපදැමූ ගල් ආයුධ (Polished stone axes) වැඩිපුර භාවිත කිරීමට පෙළඹීම
    ඇ. මැටිබඳුන් නිර්මාණය කිරීමේ තාක්‍ෂණය ආරම්භ කිරීම සමඟ වර්ණ ගන්වන ලද හා කැටයම් දමන ලද, සියුම් මතුපිටක් ඇති වළං භාවිතයට ඇති කැමැත්ත වැඩි වීම. අතින් වළං නිර්මාණය කිරීම අඩු කර ඒ සඳහා කුඩා ප‍්‍රමාණයේ කැරකවෙන කුඩා රෝද හෙවත් යන්ත‍්‍ර යොදාගෙන සියුම් ලෙස වළං නිර්මාණය කිරීම හා ගින්දර භාවිත කරමින් වළං පිළිස්සීමට කැමැත්තක් දැක් වීම.
    ඈ. ආහාර ගබඩා කිරීම තාක්‍ෂණය දියුණු කිරීමට පෙළඹීම
    ඉ. ආහාර සකස් කිරීමේ තාක්‍ෂණය දියුණු කිරීමට පෙළඹීම
    ඊ. ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කිරීමට පෙළඹීම (අගුව සහිත ආයත චතුරස‍්‍රාකාර හා වෘත්තාකාර නිවාස සෑදීම ආරම්භ කිරීම)
    උ. ලෝහ (තඹ හා ලෝකඩ) හා විශේෂ පාෂාණ වර්ග (කානේලියන්) වලින් සාධන ලද පබළු භාවිතයට ඇති කැමැත්ත වර්ධනය වීම
  5. සන්නිවේදන ක‍්‍රමවල විවිධත්වය පුළුල් වීම (සිතුවම් හා අක්‍ෂර භාවිතයට ඇති නැඹුරුතාව)

ඉහත දැක් වූ කාරණාවන් මෙන්ම මෙම යුගය හඳුනා ගැනීම සම්බන්ධයෙන් තදබල ආකායෙන් සලකා බලන කාරණා හෙවත් කොන්දේසී හතරක් තීව‍්‍ර හා සංක්‍ෂේපයෙන් හඳුනාගත හැකිව පවතී. මෙම සාදක නවශිලා යුගය හඳුනා ගැනීම පිළිබඳ ප‍්‍රකට කොන්දේසි වශයෙන් ද පවතී. ඒ අනුව,

    • මැටිබදුන්
    • සත්ව පාලනය/එඬේර කටයුතු හෙවත් සත්ව ගෘහකරණය
    • කෘෂිකර්මය පිළිබඳ මූලික සාදක හෙවත් ශාක ගෘහකරණය
    • ඔපදැමූ ශිලා මෙවලම්

යන සාදක මෙම කාලපරිච්ඡේදය හඳුනාගැනීම සඳහා පවතින කොන්දේසි වශයෙන් පවති. මෙකී කොන්දේසිවලින් පැවසෙන කාරණාවන්ගේ දෘෂ්‍යමාන බව ඔස්සේ මානව සමාජයේ නවශිලා යුගයේ දෘෂ්‍යබව පිළිගැනීමට ලක්ව පවතී.

නවශිලා කාලපරිච්ඡේදයට අයත් ඇඹරුම් ගලක්

බටහිර ආසියාවේ යුප‍්‍රටීස් හා ටයිග‍්‍රීස් ගංගා දෙක මැදිකරගත් කලාපයේ හා ඊට තදාසන්න ලෙවාන් කලාපයේ වූ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවලත්, නයිල් නදිය අසබඩ හා ඉන්දු ගංගාවේ මූලාරම්භක ප‍්‍රදේශවලත් මුල්වරට තිරිඟු වගාව මුල් කොට ගනිමින් කෘෂිකර්මය බිහි වූ බව වී. ගෝර්ඩන් චයිල්ඩ්ගේ නිරීක්‍ෂණය විය. ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල කෘෂිකාර්මික සමාජවල ආරම්භය අදින් වසර 10,000කට වඩා ඈත අවධියට ගමන් කරන බව පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ සනාථ වී ඇත. අදින් වසර 10,000 ඉක්මවා ගිය කාල වකවානුවක දී දකුණු ආසියාවේ කෘෂිකර්මය උපත ලැබීමට අවශ්‍ය සියලු සාධක සහිත වඩාත් පොහොසත් පරිසර තත්වයක් තිබූ බවට නවීන පුරා දේශගුණ හා පාරිසරික පර්යේෂණ මඟින් ද තහවුරු වී ඇත. එමෙන් ම, අදින් වසර 14,000ට වඩා ඈත අතීතයේ චීනයේ යැංසි ගංගා දෝණිය තුළ වී වගාව දියුණු මට්ටමින් පැවැති බව ද අනාවරණය වී ඇත.

පොදුවේ සලකා බැලූ විට ලෝකයේ එකිනෙකට වෙනස් ප‍්‍රධාන ප‍්‍රදේශ 6ක් ආශ‍්‍රිතව මූලික කෘෂිකර්මය ස්වාධින ලෙස ආරම්භ ව පැවති ඇති බව ද පෙනී ගොස් ඇත. එකී ප‍්‍රදේශ වශයෙන් පහත දැක්වෙන ප‍්‍රදේශ හඳුනා ගෙන ඇත.

    1. බටහිර ආසියාව හා තදාසන්න ප‍්‍රදේශ (පලස්තීනය, සිරියාව, ජෝර්දානය හා සිරියාව)
    2. නැගෙනහිර ආසියාව (දකුණු චීනය යැංශි ගංගාව ආශ‍්‍රිතව)
    3. දකුණු ආසියාව (පාකිස්තානය, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව)
    4. අග්නිදිග ආසියාවේ මුහුදුබඩ ප‍්‍රදේශය (තායිලන්තය, පැපුවා නිව්ගිනියාව)
    5. මධ්‍යම ඇමරිකාව (මෙක්සිකෝව)
    6. බටහිර අප‍්‍රිකාව (නයිජර් ගංගාව ආශ‍්‍රිතව)

ඒ අනුව පුරාශිලා හා මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා යුගයේ දී දඩයක්කාර රැස්කරන්නන් වූ මානවයින් පරිසරය කෙරෙහි පැවති දැඩි අනුගත බවින් මිදී පළමු වරට පරිසරය තම සිතැඟියාවන් අනුව මෙහෙයවීම ආරම්භ කරන බව නවශිලා යුගයේ දී දැකගත හැකි වේ. මෙවැනි තත්ත්වයක් කලාපීය වශයෙන් ඉන්දීය සාගරික තදාශ‍්‍රිත කලාපයේ ද හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ නවශිලා යුගය

ලංකාවට ආසන්නම භූගෝලීය කලාපය වූ ඉන්දියාවේ විවිධ කලාපවලින් එනම් බලුකිස්ථානය, කාශ්මීරය හා ඇසෑම් යන ප‍්‍රදේශවලින් නවශිලා යුගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත. ඉන්දියාවේ නවශිලා යුගය ආසන්න වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 4,000 කාලයේ සිට ක‍්‍රිස්තු පූර්ව 2,000 අතර වූ (ca. 4,000 BC-ca. 2,000 BC) කාලපරිච්ඡේදයේ බලපැවැත් වූ බව කාලනීර්ණ අනුව තහවුරු වී ඇත. ඊට සමාන්තරව නියෝලිතික-කැල්කොලිතික යුගය ආසන්න වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 2,500 සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 පමණ වූ (ca. 2,500BC-ca. 1,000 BC) කාලයේ දි සනිටුහන් වන අතර ආන්ධ‍්‍ර, මයිසූර්, කර්ණාටක, තමිල්නාඩු, බිහාර්, කාශ්මීරය හා මහාරාස්ඨ‍්‍ර යන ප‍්‍රදේශවලින් මේ පිළිබඳ සාධක හමු වෙයි. නැඟෙනහිර ඉන්දියාවේ නවශිලා යුගයේ ජනාවාස පිළිබඳ ඇසෑම් කලාපයෙන් වාර්තා වෙයි. මෙම කලාපයේ නවශිලා කාලපරිච්ඡේදයේ මැටිබඳුන් නිර්මාණය ආකාර දෙකකින් සිදුකළ බව තහවුරු වෙයි. එනම්, සක පුවරුවේ නිර්මාණය කිරීම හා අතින් සකස් කිරීම යන ආකාර දෙකිනි. එමෙන් ම, දඟර ආකාරයට සකස් කිරීම (coil-building method) හා string mould method යන ක‍්‍රම ද භාවිත වී ඇත.

නැඟෙනහිර ඉන්දියාවෙන් නවශිලා කාලපරිච්ඡේදය පිළිබඳ අනාවරණය වන සාදක ගිණිකොණදිග චීනය හා ඉන්දු-චීන කලාපයෙන් අනාවරණය වන නවශිලා යුගය හා සම්බන්ධ සාධක සමඟ සම්පාත බව බැව් පෙනී ගොස් ඇත. ගිණිකොණදිග ආසියාවෙන් හමුවන ජනාවාස සාධක හා පසු කාලීන සංස්කෘති පිළිබඳ සාධක සලකා බැලීමෙන් පසුව ඉන්දියාවේ බිහි වූ ප‍්‍රකට පුරාවිද්‍යාඥ ආචාර්ය එච්.ඩී. සංකාලියා පෙන්වා දෙන්නේ ක‍්‍රිස්තු පූර්ව 12,000-ක‍්‍රිස්තු පූර්ව 2,000 දක්වා කාලයේ මානවයාගේ දඩයම හා රැස්කිරීම මත පදනම් වූ ජීවන රටාව මෙම අවධියේ දී ප‍්‍රාථමික කෘෂිකාර්මික පදනමක් වෙත පරිවර්ථනය වූ බවයි. මෙම මතය තහවුරු කරමින් කාශ්මීර් ප‍්‍රදේශයේ නවශිලා සංස්කෘතීන් පිළිබඳ සාධක කාබන් කාලනීර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව 2,500-1,500 කාලයට අයත් බව තහවුරු වී ඇත. බුර්සාහම් නම් පුරාවිද්‍යා ස්ථානයෙන් අනාවරණය වූ වළ ජනාවාස මඟින් නියෝලිතික මානවයා විවෘත භූමි ජනාවාස කෙරෙහි වඩා වැඩි රුචිකත්වයක් දැක් වූ බව පෙනී යයි. මැටිබඳුන් හා ශිලා මෙවළම් අනුව මෙම යුගයේ මානවයාගේ ජීවන රටාව මාළු බෑම හා දඩයම මත පදනම් වූ බව ද තහවුරු වෙයි.

දක්‍ෂිණ ඉන්දියාවේ නවශිලා කාලපරිච්ඡේදයේ සංස්කෘතික රටාව තහවුරු කිරීමේ අරමුණින් පසුගිය දශක කීපය තිස්සේම පුරාවිද්‍යා පර්යේෂණ සිදු කරන ලදි. 1947 දි මෝර්ටිමෝර් වීලර් විසින් සිදුකරන ලද බ‍්‍රහ්මගිරි කැනීමේ සිට සංගන්කල්ලු, පික්ලිහාල්, මාස්කි, ටෙක්කල්කොටා, හල්ලූර්, උත්නර්, කුප්ගල්, කොඩෙගල් හා පල්ලවොයි ආදි ස්ථානවල සිදුකරන ලද කැනීම් මේ සම්බන්ධ කථිකාව පෝෂණය කිරීමට දායක වී ඇත. උත්නාර් හා කොඩෙකල් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයන්ගේ රේඩියෝකාබන් කාලනීර්ණය අනුව ආචාර්ය පද්දයියා මෙම කලාපයේ නියෝලිතික සංස්කෘතික ධාරාව ක‍්‍රිස්තු පූර්ව 2,500 දක්වා කාලනීර්ණය කළ හැකි බව පෙන්වා දෙයි. සංගන්කල්ලු හා ටෙක්කල්කොටා ප‍්‍රමුඛ ඉහත ස්ථානයන්ගෙන් නියෝලිතික ජනාවාස, කලාශිල්ප, ආර්ථිකය හා සුසාන චාරිත‍්‍ර පිළිබඳ තොරතුරු අනාවරණය වේ. දක්‍ෂිණ ඉන්දිය කැනීම් අතුරින් කාවේරි ආශ‍්‍රිත නර්සිපූර් හා මයිසූරය ආසන්නයේ හෙමිජ් ස්ථානයන්ගෙන් දක්‍ෂිණ ඉන්දිය කලාපයේ මධ්‍යම ප‍්‍රදේශයේ නිවශිලා කාලපරිච්ඡේදයේ මානවයාගේ ප‍්‍රධාන වාසස්ථාන බව පෙනී යයි. පැරණිම නියෝලිතික මැටිබඳුන් පිළිබඳ සාධක දකුණු ඉන්දිය කලාපයේ සංගන්කල්ලු, බ‍්‍රහ්මගිරි, පික්ල්හල්, ටෙක්කල්කොටා, හල්ලූර්, දයිලමලායි, ටොගාරප්පල්ලායි හා මුල්ලිකාඩු යන ස්ථානයන්ගෙන් වාර්තා විය.

තමිල්නාඩු ප‍්‍රදේශයේ පැරණිම නියෝලිතික සාධක පයියම්පල්ලි ක්‍ෂේත‍්‍රය අනුව ක‍්‍රිස්තු පූර්ව 1,600 දක්වා ඈතට ගමන් ගන්නා බව තහවුරු වෙයි. එහෙත් වඩා පැරණි සාධක කර්ණාටක, ආන්ධ‍්‍ර හා කාශ්මීර් ප‍්‍රදේශවලින් ලැබෙයි. ඉන්දියාවේ ප‍්‍රකට පුරාවිද්‍යාඥයෙකු වූ ආචාර්ය ඩී.එච්. සංකාලියා ප‍්‍රකාශයට පත්කර ඇති දින අනුව නියෝලිතික යුගය තෙ වන සහශ‍්‍රක වර්ෂය දක්වා ගමන් කරයි. ආචාර්ය සංකාලියා විසින් ඉන්දියාවේ නවශිලා යුගයේ දී වගා කිරීමට ඇති ‘වී’ ඇතුළු විවිධ වර්ගයේ ධාන්‍ය (Rice, Ragi (African millet), Kodenmillet (Kodra), Jowar (Sorgum), Bajra (Pearl millet), හා Horse Gram (Kulathi)) පිළිබඳ සාදක රැසක් ගෙනහැර දක්වයි.

[මෙහි දැක්වෙන ඉන්දියාවේ නවශිලා යුගය පිළිබඳ සමහර තොරතුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩී.කේ. ජයරත්න මහතාගේ දේශන සටහන් තුළින් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

ලංකාවේ නවශිලා යුගය

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තැම්පතු පිළිබඳ අවධානය යොමුකිරීමේ දී ‘මෙසෝලිතික බලංගොඩ සංස්කෘතිය පැරණි මූල ඓතිහාසික යකඩ යුගයට සංක‍්‍රමණය වූ ආකාරය ශ්‍රී ලංකාවේ දි ප‍්‍රමාණවත් ලෙස ශේෂගත වී නොමැති බව ආචාර්ය සිරාන් දැරණියගලයන් විසින් පෙන්වා දී ඇත. මෑත කාලවල දි ප‍්‍රාග් ඓතිහාසික තැම්පතු සහිත ගල් ලෙන් වාසස්ථාන තුළින් ඒවායේ පැවති තැම්පතු වලින් ඉහල තැම්පතු ලෙස සකස් වී ඇති කුරුළු බෙටි පොහොර වශයෙන් ඉවත් කරගැනීම හේතු කොටගෙන සෑම විට ම වාගේ අදාළ සංක‍්‍රමණික නිධි අවුල් වී යාම හේතුවෙන් ඉතා වැදගත් ඉහල මට්ටම්වල සම්බන්ධතා විනාශ වි ඇත. එ මෙන්ම, ඈත ඓතිහාසික යුගයේ දී බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ ගල්ලෙන් භික්‍ෂූන් වහන්සේලාගේ වාසස්ථාන වශයෙන් පිදීම ජනප‍්‍රිය වීමේ ප‍්‍රතිපළයක් වශයෙන් ඒවා ශුද්ධපවිත‍්‍ර කර මහාසංඝරත්නය උදෙසා පිදීම හේතුවෙන් ද එවා තුළ පැවති උපරි තැම්පතු ඉවත් වී ඇති බව පැහැදිලි වේ. තවත් අතකට වඩා සියුම් පුරාවිද්‍යාත්මක ක‍්‍රම හා ඒ හා සමාන්තර විධික‍්‍රම යොදා ගැනීමේ දුබලතාව හෙයින් ද ලංකාවේ මෙකී කාලපරිච්ඡේදය පිිළිබඳ තොරතුරු අනාවරණය වීම සීමා වී ඇත. මෙකී ප‍්‍රධාන හේතු හා තවත් හේතු නිසා සියවසකටත් වඩා පැරැණි දිවයිනේ පුරාවිද්‍යා වංශකථාවේ මේ අවධිය පිළිබඳව නිශ්චිත අදහසක් ඇතිකරගැනීමට තරම් ප‍්‍රමාණවත් දත්ත අනාවරණය කරගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත්ව නැත. ඒ නමුත් පසුගිය කාලයේ දී සිදුකර ඇති අධ්‍යයන අනුව මෙම අවධිය පිළිබඳ යම් සාධනීය අදහස් ඇතිකර ගැනීමට තරම් සලකා බැලිය හැකි සාදක ප‍්‍රමාණයක් අනාවරණය වෙමින් පවතින බව පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ ඡායා සටහන්

ලංකාවේ නවශිලා යුගය පිළිබඳ යුරෝපය හෝ ඉන්දියාවේ මෙන් ස්ථිර හා පැහැදිළි සාදක නොමැති බව ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අවධානය යොමුකළ යුතු කරුණකි. නමුත් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ආරම්භ වූ 19 වැනි සියවසේ අඟ භාගයේ හා 20 වැනි සියවසේ මුල් කාලයේ දී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ උනන්දු වූ විද්වතුන් විසින් ලංකාවේ නවශිලා යුගයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රොත්සාහි වී ඇත. ආරම්භක යුගයේ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු පිළිබඳ උනන්දු වූ සී.ජී. හා බී. ඉසෙඩ් සෙලිග්මාන් යුවල විසින් ලංකාවේ විවිධ ස්ථානවලින් ප‍්‍රාග් ඓතිහාසික ගල් මෙවළම් රැස්කරන ලද අතර ඒවා නවශිලා යුගයට අයත් බව ඔවුන් විසින් අදහස් දක්වා ඇත. එ මෙන් ම චාල්ස් හාට්ලි විසින් මස්කෙළිය ප‍්‍රදේශයෙන් අනාවරණය කරගත් කහඳ පාෂාණයන්ගෙන් නිර්මිත මෙවළම් නවශිලා යුගය නිරූපණය කරන බව සටහන් කර ඇත. ඊට අමතරව ඔහු විසින් ගම්පොල ආසන්නයේ ඇත්ගාල කන්දෙන් සොයාගන්නා ලද ශිලා මෙවළම් නවශිලා යුගයට අයත් බවට ද හඳුනාගන්නා ලදි. හාට්ලි විසින් පිග්මි හා පිග්මි නොවන වශයෙන් ගල් ආයුධ යුරෝපීය සම්ප‍්‍රදාය අනුව වර්ග කරන ලද අතර කුඩා මෙවළම් හෙවත් පිග්මී මෙවළම් නියෝලිතික යුගය නිරූපණය කරන බවට යෝජනා කරන ලදි. නමුත් හාට්ලි විසින් මෙසෝලිතික යුගය යන්න භාවිත කර ඇත්තේ අවම වශයෙන් බවත් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකළ යුත්තකි. ඔහු බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ පොළොව මතුපිටින් හමු වූ ගල් මෙවළම් නවශිලා මෙවළම් වශයෙන් වාර්තා කර ඇත.

1919 වසරේ දී ලංකාවෙන් හමුවන ශිලා මෙවලම් පහත් බිම් වර්ගය (low land series) හා කඳුකර වර්ගය (hill series) යනුවෙන් කොටස් දෙකකට වර්ග කොට දැක් වූ ඊ.ජේ. වේලන්ඩ් විසින් කඳුකර වර්ගය ලෙස හඳුනා ගත් මෙවලම් නවශිලා යුගයට අයත් බව දක්වයි. මේවා පහත් බිම් වර්ගයට වඩා කුඩා හා තිරුවාණා පාෂාණයෙන් නිපදවා තිබීම ඔහු විසින් පෙන්වා දෙන ලද ලක්ෂණ වේ.

ලංකාවේ නවශිලා යුගය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී වැදගත් වන මැදිහත්වීමක් සිදුකළ විද්වතෙක් වශයෙන් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් සිදුකරන ලද පර්යේෂණ මෙන් ම ඔහු දක්වා ඇති අදහස් පිළිබඳ ගැඹුරින් සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ. එතුමා විසින් කැනීම් කරන ලද උඩුපියන් ගල්ගේ, ලුණුගල්ගේ හා බඹරගල ගුහාව යන කැනීම් ස්ථානයන්ගේ එකම පස් තට්ටුවක් තුළින් ගල්ආයුධ හා මැටිබඳුන් යන වර්ග දෙකම එකට සම්මිශ‍්‍ර වී පැවතිය දී හමුවන අතර ඒවා මාදිළි අනුව නවශිලා යුගයට අයත් බව අදහස් කර ඇත. එමෙන්ම ඔහු විසින් කෑගල්ල ආසන්නයේ කළුකොළදෙණිය ගල් ගුහාව තුළින් වෑයක් වැනි ඔප දැමූ ගල් උපකරණ වාර්තා කර ඇති අතර මෙවැනි නිර්මාණ හමුවන්නේ නවශිලා සන්දර්භ තුළින් වීම ද විශේෂත්වයකි. එ මෙන් ම නවශිලා යුගයට අයත් විය හැකි පබළු මෙවළම්, කිණිහිරගල්, ඇඹරුම්ගල් හා මැටිබඳුන් වාර්තා කර ඇත.

මහඑළිය හෙවත් හෝර්ටන් තැන්න සාධක

1990 දශකයෙන් පසුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික නවශිලා යුගය පිළිබඳ කථිකාව පෝෂණය කිරීම සඳහා ප‍්‍රමුඛ දායකත්වයක් සැපයූ විද්වතෙක් වශයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක හඳුන්වා දිය හැකි වේ. එතුමා විසින් අදින් වසර 13,000ට පමණ පෙර ලංකාවේ අඩි 7,000කට වඩා උස් ප‍්‍රදේශවල මූලික කෘෂිබිම් ව්‍යාප්තව පැවැති බව තහවුරු කරන පොසිල පරාග වාර්තා ප‍්‍රමාණවත් අයුරින් වාර්තා වන බව 1997 වසරේ සිට සිදුකරන ලද පුරා පාරිසරික නොහොත් පරාග විද්‍යාත්මක අධ්‍යයන අනුව පෙන්වා දී ඇත. ඒ අනුව, යව හා බාර්ලි වගාව ලංකාවේ මූලික කෘෂිකර්මයේ ප‍්‍රධානම භෝග වර්ග දෙක බව මහඑළිය හෙවත් හෝර්ටන් තැන්නේ මීටර් 6ක් පමණ ගැඹුරු පීට් නිධි අතරේ පොසිල වාර්තා හමුවීම තුළින් වඩාත් හොදින් පැහැදිළි කළ හැකි වෙයි.

වනාන්තර එළිපෙහෙළි කිරීම හා ගින්දර භාවිතයෙන් සිදුකරන හේන් වගාව (Slash and burn/chena cultivation) පිළිබඳ ව ඇති සාක්‍ෂි ද තෘණ බිම්වල සිදු වී ඇති එඬේර කටයුතු (Grazing and pastoral activity) සඳහා ඇති සාක්‍ෂි ද තෘණ බිම්වල කළමනාකරණය පිළිබඳ සාක්‍ෂි ද, කෑමට ගත හැකි ශාක වර්ග කීපයක පොසිල පරාග සාක්‍ෂි ද, වගා කටයුතු සඳහාම හඳුන්වා දෙන ලද පඳුරුමය ශාක කීපයකම (Cultivated shrubs) පොසිල වාර්තා හමුවීම ලංකාවේ පුරාණ කෘෂිකර්මය සඳහා ඇති සාධක වශයෙන් ආචාර්ය පේ‍්‍රමතිලක විසින් පෙන්වා දී ඇත.

පාරිසරික භූ චුම්භන වාර්තා (Environmental mineral magnetic records) මඟින් පෙන්වා දෙන මානව භූ ඛාදන ක‍්‍රියාකාරිත්වයන් ද ලංකාවේ උස්බිම් කලාපයට අයත් මහඑළිය ප‍්‍රදේශයේ අදින් වසර 10,000 පෙර අවධියේ දී මානව ක‍්‍රියාකාරකම් සිදු වූ බව පෙන්වා දෙන තවත් අමතර සාක්‍ෂියකි. අදින් වසර 17,500කට පමණ පෙර තණබිම් හා ලඳු කැලෑ ගිනි දමා පුළුස්සා විනාශ කිරීමේ ලක්‍ෂණ විශාල ප‍්‍රමාණයක් ක්‍ෂුද්‍ර අඟුරු විශ්ලේෂණය, පරාග වාර්තා, ෆයිටොලිත වාර්තා හා පොළොව අභ්‍යන්තරයේ භූ චුම්භණ ගතිගුණ විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමවේදය හරහා අනාවරණය විය. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හෝර්ටන් තැන්නේ බොහෝ බෑවුම් ඛාදනයට ලක් වී ඇති අයුරු තේරුම් ගැනීම සඳහා ද මේ වාර්තා තවදුරටත් වැදගත් වනු ඇත. ඒ අනුව, මහඑළිය හෙවත් වර්තමානයේ හෝර්ටන් තැන්න යනුවෙන් හඳුනාගන්නා භූමි ප‍්‍රදේශයේ ඇති වී ඇති තණබිම් එකල විසූ මිනිසුන් විසින් කැලෑ එළිකර ගිනිතැබීම නිසා ඇති පතන භූමි වශයෙන් හඳුනා ගැනීමට හැකි වී ඇත. කාලීනව විශාල ගස් කපා බෙමි හෙළිම හා එසේ කළ නොහැකි ගස්වල පොතු ඉවත් කිරීම මඟින් ඒවා මැරී වියළිමට ලක්කර පසුව ගිනි තැමීබ මඟින් මෙම විශාල ගස් විනාශ කර ඇති අතර පසුව ඇතිවන පතන භූමියේ මුවා, ගෝනා වැනි කුර සහිත සත්වයන්ගේ ගහණයේ ශීඝ‍්‍ර වර්ධනයක් එකී භූ දර්ශනය තුළ දී එවැනි සතුන් දඩයම් කිරීමට ඇති පහසුවත් සලකා මෙවැනි ක‍්‍රියාමාර්ගයක් ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් අනුගමනය කර ඇති බව අර්ථකථනය කර ඇත. ඒ අනුව එකී කලාපයේ භූ දර්ශනය එකල මිනිසාගේ මැදිහත්වීම හේතුවෙන් ඇති වූවක් බව පැහැදිලි වේ.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සාදක සපයන තැම්පතු අතුරින් බෙහෙවින් වැදගත් සංචිත වන්නේ අවුල් සහගත නොවූ ගල්ලෙන් තැම්පතු ය. ලංකාවේ තෙත් කලාපයේ පිහිටි ගල්ලෙන් අතුරින් බෙහොමයක මධ්‍යශිලා/ක්ෂුද්‍රශිලා තැම්පතු විධිමත් අයුරින් තැම්පත් වී ඇති අතර වෙනත් රටවල දී ඊට ඉහළින් ඊලඟ සංස්කෘතික අවධිය නිරූපණය කරන පස් තැම්පතු ඇතිරී පවතී. ලංකාවේ මේ දක්වා කිසිම ගුහාවක් තුළින් මීට අනුරූප තත්ත්වයක් හඳුනාගැනීමට ලක් ව නැත. නමුත්, පසුගිය කාලය තුළ ලංකාවේ තෙත් කලාපයට අයත් ගල් ලෙන් තුළ සිදුකරන ලද ගුහා කැනීම් වල දී පැහැදිලි වූ කරුණක් වූයේ එම ගල්ලෙන් තුළ පිහිටි ඉහළ ජනාවාස ස්තර දැඩි ලෙස අවුල්සහගත තත්වයකට පත් වී ඇති බවයි. එකී සමහර ගුහාවන්හි ඉහළ ජනාවාස මට්ටම් පසු කාලීන භික්‍ෂූ ආරාම වශයෙන් සකස් කිරීමේ දි පොළොව සමතලා කිරීම හේතුවෙන් සාධක විතැන්විමේ ක‍්‍රියාවලියට ලක් වී ඇති අතර අත්තනගොඩ අළුලෙන මේ සඳහා ඇති උදාහරණයකි. එමෙන්ම පොහොර වශයෙන් ඉවත් කිරීම හේතුවෙන් ද මෙම ගුහාවන්ගේ ඉහළ ජනාවාස මට්ටම් ඉවත් වී ඇති බව තහවුරු වෙයි. බොහෝ ගුහාවන්හි ඉහළ ජනාවාස ස්තරයන්ගෙන් මීටර් 2-4 දක්වා ප‍්‍රමාණයක් මෙලෙස ඉවත්කර ඇති බව හඳුනාගත හැකි වෙයි. කිතුල්ගල බෙලිලෙන හා අත්තනගල්ල පොත්ගුල්ලෙන වැනි ගුහා ජනාවාස ස්ථානයන්ගේ මේ තත්ත්වය අද දවසේ වුව ද නිරීක්‍ෂණය කිරීමට හැකි වේ.

අවිස්සාවේල්ල – ගිණිගත්හේන මාවත අතරමැද පිහිටා ඇති කදිම ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා ජනාවාස ස්ථානයක් වූ කිතුල්ගල බෙලිලෙන ගුහාවේ ඉහළ මට්ටමේ දි කාලරක්ත වර්ණ මැටි මෙවළම් (Black and Red Ware) හා රක්ත වර්ණ මෙවළම් (Red Ware) වාර්තා වුව ද ඒවා අවුල් සහගත තත්වයේ ස්තරයෙන් අනාවරණය වූ බැවින් සප‍්‍රමාණ අර්ථනිරූපණ සඳහා යොදාගැනීමේ හැකියාවක් නොමැති බව අදාළ කැනීම් කළ පුරාවිද්‍යාඥයන්ගේ අදහස විය. නමුත් ශ්‍රී ලංකාවේ නවශිලා යුගයක් තිබිණිදැයි අනුමාණ කිරීමට නැතිනම් සැක පහළ කිරීමට හේතු වී ඇති තවත් වැදගත් ස්ථාන 2ක් වශයෙන් මන්නාරම හෙවත් පුරාණ මාතොට වරාය ආසන්න ප‍්‍රදේශය හා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දොරවකකන්ද ලෙන වෙත පුරාවිදඥයන්ගේ අවධානය යොමු පවතී.

මාතොට වරාය හෙවත් මන්නාරම

මන්නාරම සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම් තුළින් ගෘහකරණය කරන ලද කුර සහිත ක්ෂරපායි සත්වයින්ගේ අස්ථි හඳුනාගෙන ඇති නමුත් නවශිලා යුගය සම්බන්ධයෙන් අනෙකුත් සාදක මනාව සංග‍්‍රහ වී ඇති බවත් පෙනී යන්නේ නැත.

දොරවකකන්ද ලෙන කැනීමේ අවස්ථාවක්

වරකාපොළ ආසන්නයේ පිහිටි දොරවකකන්ද ඇතාබැඳි ලෙන

ආචාර්ය ඩබ්ලියු.එච්. විජයපාලගේ අධ්‍යක්‍ෂකත්වයෙන් යුතුව ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වරකාපොල ආසන්නයේ පිහිටි එබිඳිගල ග‍්‍රාමයේ පිහිටා ඇත දොරවක කන්ද ලෙනෙහි 1991 දි සිදුකළ කැනීම මඟින් මූලිකවම ශිලා මෙවලම්, අතින් හා සකපුවරුවේ නිපද වූ මැටි බඳුන්, ධාන්‍ය හා එක් යකඩ උපකරණයක් ඉහල මට්ටම්වලින් හමු වූ බව දැක්වෙයි. ශ්‍රී ලංකාවෙන් මනාව සංචිත වූ මෙවැනි නවශිලා එකතූන් ලැබුණු ප‍්‍රථම අවස්ථාව මෙය විය. ප‍්‍රධාන පස් තට්ටු හෙවත් පාංශු ස්ථර 9ක් යටතේ කැනීමට ලක් වූ දොරවක ලෙනෙහි එකී පස් තට්ටු හා ඒවා සම්බන්ධයෙන් අනාවරණය වි ඇති සංස්කෘතික නිදර්ශක පහත පරිදි පෙළ ගැස්විය හැකි වේ.

ස්ථර අංකය විස්තරය
IX අඟුරු හා අළු බහුල ය. තිරුවාණා, මැටි බඳුන්, කහඳ හා ශිලා මෙවලම්
VIII ශිලා මෙවලම්, මැටි බඳුන්, ග‍්‍රැපයිට් හා අඟුරු
VII තිරුවාණා පතුරු, ශිලා මෙවලම්, මැටි බඳුන් හා අඟුරු
VI ශිලා මෙවලම්, මැටි බඳු අළු හා අඟුරු
V අඟුරු, ශිලා මෙවලම්, තිරුවාණා, හෙමටයිට් හා මෙම ස්ථරයේ සංස්කෘතික සාධකයන් අතරෙ වූ ධාන්‍ය සාධක
IV මෙම ස්ථරයේ සංස්කෘතික අවශේෂ අතරේ මැටි බදුන්, ශිලා උපකරණ, ධාන්‍ය, අඟුරු හා කැකුණ ඇට
III ශිලා මෙවලම්, ධාන්‍ය, මැටි බඳුන්, අඟුරු හා කැකුණ ඇට
II ඉතා කුඩා අඟුරු කොටස්, කැකුණ ඇට, මැටි බඳුන් කොටස්, ගල් මෙවලම් අඟුරු හා ධාන්‍ය
I මවු පාෂාණය

 

දොරවකකන්ද ලෙනේ පස් තට්ටු දැක්වෙන සැලසුම

මෙම ලෙනේ පහළ ම ස්ථරය මෑත පූර්ව 6,310+/-70 (ca 7,200BP) කාලයට අයත් බව කාබන් 14 කාලනිර්ණ ක‍්‍රමය මඟින් පෙන්වා දි ඇත. මෙහි ස්තරානුකූලව ලැබුණු ගල් බිත්තියේ මතුපිට සිදුකළ සීරුම් ළකුණු අනුව මෑත පූර්ව 2,500 (ca 2,500BP) පමණ දක්වා මානව වාසස්ථාන පැවැති බව පෙනී යයි. එනම් ඓතිහාසික කාලපරිච්ඡේදයේ පහළම සීමාව දක්වා වෙයි. මෙම සියලු සාධක පිළිබඳව සලකා බලන විට දොරවක ලෙනේ ධාන්‍ය වර්ගයක් විය හැකි කිසිවක් හා සමඟ (යකඩ ආයුධ හා) මැටි බඳුන් ක‍්‍රිස්තු පූර්ව 5,250ටත් පෙර භාවිත කර ඇති බවට ළකුණු ඇත. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය සම්බන්ධයෙන් ඇති අවුල් විසදා ලීමේ යම්කිසි සීමසහිත හැකියාවක් දොරවක කන්දේ කැනීම සතුව ඇති බව පෙනී යයි. මෙලෙස දක්නට ඇති සංස්කෘතික තැම්පතු ඇතිරිය අර්ථ දක්වමින් අදාළ කැනීම සිදුකළ ආචාර්ය ඩබ්ලියු.එච්. විජයපාල පවසන්නේ මෙම පවතින තත්ත්වය ‘පශ්චාත් මෙසොලිතික තත්ත්වයක්’ (a post Mesolithic condition) බවයි. එනම් මධ්‍යශිලා යුගයෙන් පසු සංස්කෘතික ලක්ෂණ මෙයින් නිරූපණය කරන බව ඔහු අදහස් කරයි. මෙම කැනීම මඟින් අනාවරණය වූ තත්ත්වය කිසිදු විටෙක නවශිලා තත්ත්වයක් බව ප‍්‍රකාශ කිරීමට ඔහු ඉදිරිපත් නොවුනත් මේ මඟින් මධ්‍යශිලා යුගයේ වර්ධිත අවස්ථාවක් හෝ ඊට පසු තත්ත්වයක් නිරූපණය කරනු ඇතැයි ඔහු සිතන බව පෙනේ.

1990 දශකයේ දී ගම්පහ දිස්ත‍්‍රික්කයේ වාරණ ගුහාවක සිදුකරන ලද පුරාවිද්‍යා කැනීමක් මඟින් ලංකාවේ මධ්‍යශිලා යුගයෙන් පසු තත්ත්වයක් පිළිබඳ සාකච්ඡාව යළි ඉස්මතු කිරීමට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරි හා ආචාර්ය අර්ජුන තන්තිලගේ උත්සාහ දරා ඇත. එකී කැනීමේ දී එක් පස් තට්ටුවකින් ගල් මෙවළම් හා මැටි බඳුන් කොටස් එකට සංචිතව හමුවන බවත්, එමඟින් නවශිලා තත්ත්වයක් නිරූපණය කරන බවත් එම විද්වතුන් අදහස් පළ කර ඇත. මෙකී තත්ත්වය ඔවුන් විසින් ‘පශ්චාත් මෙසෝලිතික යුගය’ යනුවෙන් ඔවුන් විසින් හඳුන්වා දීමට ද උනන්දු වී ඇත. මෙයින් අනතුරුව මෙකී ස්ථානයේම කැනීම් සිදුකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින්ගේ අදහස වන්නේ මෙම ස්ථානයේ පස් තට්ටුවල අවුල් සහගත බවක් ඇති වී පවතින හෙයින් මෙලෙස සංස්කෘතික අවශේෂ සම්මිශ‍්‍ර වී අනාවරණය වන බවයි. මෙයින් පසුව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේම මහාචාර්ය රාජ් සෝමදේව විසින් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් කැනීම් සිදුකළ උඩුපියන් ගල්ගේ තුළ සිදුකරන ලද කැනීම් මඟින් ද මේ හා සමාන තත්ත්වයක් හඳුනාගත හැකි බව ප‍්‍රකාශ කර ඇත. එබැවින් මෙම අදහස් මීට වඩා ගැඹුරින් සලකා බලමින් විග‍්‍රහ කිරීම ඔස්සේ ලංකාවේ නවශිලා යුගයක් පැවතියේ ද යන ප‍්‍රස්තුතය සඳහා සාධනීය පිළිතුරක් සපයා ගැනීමේ භව්‍යතාවක් පවතින බව විශ්වාස කළ හැකි වේ.

මේ සංවාදයේ දී ලංකාවේ පුරාවිද්‍යාඥයින් අතරේ අවම අවධානයකට ලක් වූ කරුණක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කිරීම වැදගත් බව අපගේ වැටහීමයි. ලෝකයේ මානවයාගේ පරිණාම සංස්කෘතික මාර්ගය ගමන් කිරීමේ දී ඔහු විසින් නෂ්ඨ කළ සාධක අනුව පරිණාම ගමන් මාර්ගය හා එහි අවධි වෙන්කර තිබේ. ඒ අනුව පුරාශිලා, මධ්‍යශිලා හා නවශිලා යනුවෙන් අදාළ යුගයන්හි පවත්නා තාක්ෂණික ලක්ෂණ අනුව කාලය වෙන්කර තිබේ. ගල් ආයුධ තාක්ෂණයේ සිදුවන වර්ධනය අනුව පිළිවෙළින් මෙම යුග මානවයා විසින් පසුකළ බව පෙනී යයි. නමුත් මෙය අනිවාර්ය කොන්දේසියක් ලෙස හෝ මානවයා විසින් අනිවාර්යයෙන්ම මෙම යුග අනුපිළිවෙළින් පසුකළ යුතු යැයි කෙනෙක් සිතන්නේ නම් එය සියයට සියයක් නිවැරදි අදහසක් ලෙස සැලකිය හැකි නොවේ. ලංකාවේ පුරාවිද්‍යාඥයින් අනුමාණ කරන ආකාරයට යම් විටෙක මධ්‍යශිලා තාක්ෂණයේ සිටින මානවයාට බාහිර බලවේගයක් විසින් ලෝහ තාක්ෂණය අත්පත්කර දුනහොත් ඔහු තාක්ෂණික-සංස්කෘතික අවධීන්හී අනුපිළිවෙළට එන අනෙක් යුග ඉක්මවා නව යුගයකට පිවිසීම සිදුවිය හැක්කකි. ඒ අනුව ලංකාවේ මධ්‍යශිලා මානවයාට යකඩ තාක්ෂණය ලැබීමත් සමඟ මූළ ඓතිහාසික යකඩ යුගයට අවතීර්ණ වීම ද සිදුවිය හැකි තත්ත්වයකි.

අර්ධද්වීපික ඉන්දියාවේ හමුවන ආකාරයෙන් නවශිලා යුගයට ආවේනික වූ ඔප දැමූ ගල් පොරෝ, මැටි බඳුන් හා හීලෑ කරන ලද සතුන් පිළිබඳ සාදක ප‍්‍රමාණවත් අන්දමින් තවමත් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට සමත්ව නැත. ඒ අනුව ලංකාවේ නවශිලා යුගය පිළිබඳ නිශ්චිත ආකාරයෙන් සාකච්ඡා කිරීම තවත් වසර කීපයක් අදාළ සාදක දිවයිනෙන් අනාවරණය වන තෙක් කල් දැමිය යුතුව ඇත.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.09 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

archaeology.lk ‌‌සමාජ සත්කාරයක් : භූගෝලීය තොරතුරු පද්ධති වැඩමුළුවේ ගාස්තු‌වෙන් 40%ක් . . .

පසුගිය 2019 අගෝස්තු 31 දින හා සැප්තැම්බර් 1 වැනි දින කොළඹ 7 පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR) විසින් ‘පුරාවිද්‍යා දත්ත දෘශ්‍යකරණය හා විශ්ලේෂණය පිළිබඳ භූගෝලීය තොරතුරු පද්ධති වැඩමුළුව’ක් (GIS Training Workshop: Visualizing and analyzing Archaeological data) සංවිධානය කර සාර්ථක අන්දමින් එය නිමාවට පත් කරන ලදී. ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය නියෝජනය කරමින් 30 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් සිදුකරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන සම්පත් දායකත්වය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යාත්මක සහකාර, රෙස්ටා ප්‍රනාන්දු මහත්මිය විසින් සිදුකරන ලද අතර ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ භූගෝලිය තොරතුරු පද්ධතිය පිළිබඳ දැනුම වර්ධනය කිරීම හා පර්යේෂණ හා කළමනාකරණය සඳහා මෙවළමක් වශයෙන් එහි උපයෝගීතාව පිළිබඳ දැනුම පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නියැලෙන විවිධ මට්ටමේ පිරිස් අතුරෙහි නව තාක්ෂණික ක්‍රම හා භාවිතයන් ප්‍රචලිත කිරීමෙහි නියැලෙන ප්‍රමුඛ ස්වේච්ඡා සමූහය වන archaeology.lk මෙම වැඩමුළුවට සහභාගී වූ පිරිසෙන් තෝරාගත් සාමාජිකයින් 5 දෙනෙකු සඳහා ගාස්තුවෙන් 40%ක් සඳහා අනුග්‍රහය දැක්වීමට  ‌‌කටයුතු කළ බව දැනුම් දෙන්නේ සතුටිනි.

ජායාරූප‍ය : archaeology.lk අනුග්‍රහය දිනාගත් සාමාජිකයින්.
වමේ සිට : රුමල් වින්දුල (කැලණිය විශ්වවිද්‍යාලය), බුද්ධීෂ විරසූරිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), නර්මදා හංසණි(පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ඉංජිනේරු අනුරාධ පියදාස (archaeology.lk සම ප්‍රාරම්භක හා කණ්ඩායම් නායක), රෙස්ටා ප්‍රනාන්දු (ප්‍රධාන සම්පත් දායිකා, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය), දි‌‌‌ෙනේකා ධනංජනි (පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ඡායාරූපයේ නැත), කසුන් ජයසූරිය (කැලණිය විශ්වවිද්‍යාලය)

වැඩසටහන සම්බන්ධීකරණ කරමින් සම්පත් දායකත්වය සැපයූ රෙස්ටා ප්‍රනාන්දු මහත්මියටත්, archaeology.lk අනුග්‍රහය ලැබූ විද්‍යාර්ථීන් ඇතුළු වැඩසටහන සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත් archaeology.lk කණ්ඩායමේ සුභාශීංෂණ පළ කෙරේ.

උරුම කළමනාකරණය : 2. සම්ප්‍රදායෙන් විද්‍යාත්මක ප්‍රවේශයට : යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අවධි තුළ අර්බුධයට ලක්වන උරුම සංරක්ෂණයේ තිරසාරබව

අරුණ රාජපක්ෂ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

ආචාර්ය අරුණ රාජපක්ෂ

සාර සංක්ෂේපය

ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණය සම්බන්ධයෙන් සිදුවන හඳුන්වාදීම් හරහා සිදුවන පරිවර්ථනයක් අප විසින් තේරුම් ගත යුත්තේ ඊට පූර්ව අවධීන්ට සාපේක්ෂවය. එහි දී පූර්ව යටත් විජිත අවධිය තුළ දේශීය අනන්‍යයතාවන් මත පදනම් වූ සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශයක් තුළ දේශීය උරුම ස්ථානයන්ගේ තිරසාරබව තහවුරු වූ අතර යටත් විජිත අවධිය තුළ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් විද්‍යාත්මක අවශ්‍යතාවන් අරමුණු කරගත් වෘත්තීමය ආයතනමය ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත දෝළනය වීම තුළ දේශීය ආගමික ප්‍රජා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම වර්තමානයේ උරුමය හා සම්බන්ධ අර්බුධ රැසකට හේතු වී ඇත.

ප්‍රවේශය

උරුම සංරක්ෂණයේ ඓතිහාසික පරිණාමයෙහි හැරවුම් ලක්ෂයක් පදනම් කර ගනිමින් අධ්‍යයනයේ තේමානුගතව අධ්‍යයනය පහසුව සඳහා එදාමෙදා තුර ශ්‍රී ලාංකේය උරුම සංරක්ෂණ ප්‍රවේශයන් පහත සඳහන් පරිදි බෙදා දැක්විය හැකි ය.

  1. පූර්ව යටත් විජිත අවධිය (Pre- Colonial Period) : දේශීය සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශය
  2. ක්‍රිස්තු වර්ෂ 1505 යටත් විජිත අවධිය (Colonial period) :
    I. යටත් විජිත රාජ්‍ය හා ආයතනමය ප්‍රවේශය
    II. යටත් විජිත විරෝධී ප්‍රජා ප්‍රවේශය
  3. පශ්චාද් යටත් විජිත අවධිය (Post Colonial) : දේශීය හා ජාත්‍යන්තර සම්මිශ්‍ර ප්‍රවේශය
    I. 1948 වර්ෂයේ සිට 60 වර්ෂය දක්වා
    II. 1960 වර්ෂයේ සිට 80 වර්ෂය දක්වා
    III. 1980 සිට වර්තමානය දක්වා

විජේසූරිය (1993) ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණයේ කාල අවකාශ හා මැදිහත්වීම සන්දර්භය පදනම් කර ඓතිහාසික හා ආයතනමය දෘෂ්ටිකෝණයක් තුළ සිදු වූ පරිණාමීය තත්ත්වයන් විග්‍රහ කර ඇත. ඒ අනුව පරිණාමීය දෘෂ්ටිකෝණයෙන් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ සිට යටත්විජිත අවධිය දක්වා බෞද්ධ සංකේත පදනමීය සංරක්ෂණ සම්ප්‍රදායික ගති ලක්ෂණ මූලාශ්‍රගත තොරතුරු ඇසුරින් විග්‍රහ කරන අතර, ආයතනමය දෘෂ්ටිකෝණයෙන් යටත්විජිත පාලන සමය තුළ හා විශේෂයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 ස්ථාපිත වීමට පෙර සහ පසු අවධිය තුළ පුරාවස්තු, ස්මාරක, ක්ෂේත්‍ර සම්බන්ධ පුරාවිද්‍යාත්මක මැදිහත්වීම් (Interventions) පදනම්ව පහත සඳහන් පරිදි වර්ගීකරණයට ලක් කර, විග්‍රහයක යෙදෙයි.

  1. ගවේෂණාත්මක අවධිය (Exploratory Period) : 1910 පෙර
  2. තහවුරු කිරීමේ අවධිය (Consolidator Period) : 1910 – 1940
  3. අර්ථකථනාත්මක අවධිය (Explanatory Period) : 1940 – 1960/1960 – 1990

පුරාවිද්‍යාත්මක සහ වාස්තුවිද්‍යාත්මක මැදිහත්වීම් පදනමීය අයුරින් මෙසේ සිදුකළ පසුගිය දශක තුන උරුම සංරක්ෂණ සම්බන්ධයෙන් සිදු වූ පරිණාමීය තත්ත්වයන් ප්‍රමාණාත්මකව විග්‍රහ නොවීම තුළ සහ 1940න් පසු කාල පරිචිඡේදය හුදු අර්ථකථනාත්මක අවධියක් ලෙස පමණක් තේරුම් ගැනීම අපහසු ය. එසේම උක්ත කාල පරිච්ඡේද තුළ සිදු වූ මැදිහත්වීම්වල විවිධතාව විමසන විට එය හුදෙක් තත් මැදිහත්වීමට පමණක් සීමා කිරීම උරුම සංරක්ෂණය සමඟ බද්ධ වූ සමාජ, දේශපාලන යථාර්ථය අමතක කිරීමකි.

සාකච්ඡාව

යටත්විජිත අවධිය

විදේශීය ආක්‍රමණයන්ගෙන් සහ බලපෑමිවලින් කලින්කල අහිතකර ලෙස විනාශකාරී බලපෑම් වලට මුහුණ දෙමින්, එයම ආශිර්වාදයක් කරගනිමින්, යාන්ත්‍රණය ශක්තිමත් කරගනිමින් හිස ඔසවා ජීවමානව පවත්වාගෙන ආ උරුම සංරක්ෂණ යාන්ත්‍රණයේ සාම්ප්‍රදායික ගමන්මඟ තීරණාත්මක ලෙස අභියෝගයට ලක්වන්නේ ලංකාව 1505 සිට 1948 දක්වා පෘතුගීසී, ලන්දේසි සහ ඉංග්‍රීසි යන බටහිර ජාතීන් තුනකගේ යටත් විජිතයක් බවට පත් වීමෙනි. මෙම කාල පරාසය දෘෂ්ටිකෝණ දෙකකින් පරීක්ෂා කළ යුතු වේ. එනම්, යටත්විජිත පාලකයින් දේශීය සංස්කෘතික උරුම සංරක්ෂණය කෙරෙහි ක්‍රියාත්මක වූ ආකාරය දේශීය සංස්කෘතික සහ උරුමයන් පිළිබඳව යටත්විජිත පාලකයන්ගේ ආකල්පයන් සහ ප්‍රවේශයන් අතිශයින් සංකීර්ණ වේ. විටෙක එය හුදු විද්‍යාත්මක මුහුණුවරක් ද, විටෙක පැවති සම්ප්‍රදායන් දැඩි ලෙස අභියෝගයට ලක් කිරීමක් ලෙස ද, තවත් විටෙක සිතාමතා සැලසුම් සහගත ලෙස විනාශකාරී අයුරින් මැදිහත්වීම් ස්වරූපයක් ද, උසුලයි. රාජධානිය කෝට්ටේ (ක්‍රි.ව. 1415-1597) ලෙස පවතින අවධියේ පළමු වන බටහිර විදේශීය ආක්‍රමණය 1505 දී පෘතුගීසීන්ගෙන් ද, අවසන් රාජධානිය මහනුවර ලෙස පවතින අවධියේ එනම්, 1656 දී දෙ වන බටහිර විදේශීය ආක්‍රමණය ලන්දේසීන්ගෙන් ද, තෙ වන බටහිර විදේශීය ආක්‍රමණය 1796 දී ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ද, එල්ල විය. ශ්‍රී ලංකාව පූර්ණ යටත් විජිතයක් බවට පත්වන්නේ 1815 දී ය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1505 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය යටත්විජිත යුගය ලෙසට ගෙන අධ්‍යයනය කළත් තත් කාල පරාසය තුළ දේශීය පාලකයින් හා ප්‍රජාව විදේශීය පාලකයින්ගේ අභිමතයෙන් තොරව සිදුකළ උරුම සංරක්ෂණ කටයුතු ද දේශීය රාජ්‍ය පාලනය අවසන් වීම සහ විදේශීය පාලනයට නතු වීම අතරතුර සංක්‍රාන්ති සමයක් ලෙස ගෙන නිරීක්ෂණය කිරීම වැදගත් වේ. රටේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව විදේශීය පරිපාලනයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර උරුමස්ථානවලට ඔවුනගෙන එල්ල වන විනාශකාරී අභියෝග මේ කාල පරාසය තුළ අත්විඳීමට දේශීයන්ට සිදුවිය. මෙම අභියේගය හමුවේ කන්ද උඩරට කේන්ද්‍ර කර ගනිමින් තදාසන්න ප්‍රදේශයත්, සුළු වශයෙන් පර්යන්ත ප්‍රදේශත් පදනම් කර ගත් යුගයටම අනන්‍ය වූ සංස්කෘතික සම්ප්‍රදායන් රැසක් බිහිවීමට පසුබිම සැකසිණ‍. චිත්‍ර, වාස්තු විද්‍යා, ජනකලා ආදී ක්ෂේත්‍රයන්ගේ උඩරට සම්ප්‍රදායක් බිහිවිය. විශේෂයෙන් වාස්තු විද්‍යාව සහ චිත්‍ර කලාව පදනම් කරගත් මහනුවර යුගයට ආවේණික වූ සංරක්ෂණ සම්ප්‍රදායක් ද, ජනිත විය. මෙකී සම්ප්‍රදායන්ගේ පැවැත්ම වැඩවසම්, රජු කේන්ද්‍ර කරගත් රාජකාරී ක්‍රමය කුල පදනමක් සහිත සමාජ සංවිධානයක් හරහා සැකසිණි (මල්සිරි 2011:177). මෙම කටයුතු පසුපස එවකට රාජ්‍ය විචාළ පළමු වන විමලධර්ම (ක්‍රි.ව. 1592-1604), දෙ වන රාජසිංහ (ක්‍රි.ව. 1633-1687), කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1781) සහ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798-1815) ආදීන් වැදගත් වේ. දේශීය රජ පරපුරේ ම රජ පුරුකක් බවට අනුගත වූ විදේශීය සම්භවයක් සහිත නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහගේ ක්‍රියාකාරකම් පවා දේශීය සංස්කෘතික සම්ප්‍රදායේ ප්‍රගමනයට දැක් වූ සහයෝගය දේශපාලනික ලෙස තත්කාලීනව එල්ල වී තිබූ බාහිර විදේශීය පාලකයින්ගේ සහ දේශීය රදලවරුන්ගේ අභියෝගය හමුවේ දේශීයත්වයට අනුගත වෙමින් සිය ප්‍රතිරූපය ජනප්‍රිය ජනප්‍රිය කරවීමේ දේශපාලනික උපායමාර්ගක් ලෙස සමහරුන් අර්ථකථනය කළ ද, (දේවරාජා 1997:226) මෙය ආගමික උරුමස්ථානයන්ගේ අභිවෘද්ධිය සඳහා හේතු විය. එම කටයුතු විදේශීය අභියෝගය හමුවේ රටේ බොහෝ ප්‍රදේශවල උරුමස්ථාන විනාශ වෙමින් පැවති විට සිය බල ප්‍රදේශය තුළ ආගමික ස්ථාන තුළ පුනරුදයක් උදාකර වීමට සමත් විය. මොහු විසින් විහාර ප්‍රතිසංස්කරණය සහ නඩත්තුව සිදු කළ ඉඩකඩම් ප්‍රදානයන් සහ නෛනතික ප්‍රපාදයන් සම්බන්ධ තොරතුරු රැසක් තත්කාලීන සන්නස් සහ තුඩපත් වැනි අභිලේඛන පරික්ෂාවෙන් පැහැදිලි වේ (ධම්මානන්ද 1969; කුමාර 1992:43; වනරතන 2008:3).

බටහිර විදේශීය ආක්‍රමණත් සමඟ ඒ දක්වා ශ්‍රී ලාංකේය උරුම සංරක්ෂණයේ ජීවමාන සක්‍රීය නියෝජනයක් වූ භික්ෂු පරපුරේ පරිහානියක් පිළිබඳව රක්ඛංග සන්දේශය, පුණ්‍ය ක්‍රියා සන්දේශය මූලාශ්‍රයන්හී  විස්තර කෙරෙයි (ධම්මානන්ද 1969:224). මේ සඳහා සෘජුව හේතු වූයේ සම කාලීන පාලකයින් වූ සීතාවක රාජසිංහ වැනි පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන්ය. මේ සමඟ ශ්‍රී ලාංකේය තිරසාර උරුම සංරක්ෂණ යාන්ත්‍රණයේ ප්‍රබලම ගාමක බලවේගය වූ භික්ෂුවගේ භූමිකාව යම් ප්‍රමාණයකට අක්‍රිය වීම හරහා පැවැත්ම අසමතුලිත වීම තුළ රික්තකයක් නිර්මාණය විය. මෙම රික්තකය කිසිදු ආදේශයකින් සම්පූර්ණ කළ නොහැක්කක් විය. රික්තකයේ ප්‍රබලත්වය අප අවබෝධ කරගත යුත්තේ එතෙක් කවර දුෂකර පසුබිමක වුව ද උපදේශකයකු, අධීක්ෂකයෙකු, කළමනාකරුවෙකු, සැලසුම්කරුවෙකු, ආරක්ෂකයෙකු මෙන්ම ස්ථීර භාරකරුවෙකු ලෙස විවිධ බූමිකා නිරූපණය වූ භික්ෂුව කේන්ද්‍ර කර ගනිමිනි (මල්සිරි 2011:184). මේ හිදැස තදනන්තරව බෞද්ධාගමික ස්ථාන භාරකාරත්වයට පැමිණෙන ගණින්නාන්සේලාගෙන් සම්පූර්ණ වූවා යැයි කීමට අපහසුය. එතෙක් පුද්ගලයන් ලෙස ඔවුනගේ මැදිහත්වීම සාපේක්ෂව සාධාරණ ඇගයීමකට ලක්විය යුතුය. ඤාණවිමල හිමියන් (2001) පවසන පරිදි,

මොවුන් සසුන කෙරෙහි ඇල්මක් ඇතිව සිටි කොටසක් වීම නිසා ගිහිව හෝ කෙසේ නමුත් බුදු සසුන රැකගත යුතු යැයි සිතා සුදු පිළි හැඳ පෙරව, ගණින්නාන්සේලා නමින් පොත්පත්, බුදු පිළිම ආදී ආගමික පූජනීය වස්තූන් විහාරස්ථානත් රැක බලා ගනිමින් විසූහ. (ඤාණවිමල 2001)

ස්ථාන ආශ්‍රිත භෞතික උරුමය භුක්ති විඳින්නෙකු මෙන් ම රැකවලෙකු ලෙස ගණින්නාන්සේලාගේ භූමිකාව කාලීන විකෘතියකි. මෙය තත්කාලීන සමාජ, දේශපාලනික සහ සංස්කෘතික වෙනස්කම් හමුවේ එය කළමනාකරණය කරගැනීම ලෙස සැලකිය හැකිය. එහෙත් එම පිරිසෙන් ආගමික ස්ථානයන්හි ප්‍රතිසංස්කරණ, අලුත්වැඩියා කිරීම් හරහා අවමයෙන් හෝ කෘත්‍රිම ජීවයක් ආරක්ෂා වූයේ ය යන්න ප්‍රතික්ෂේප කළ නොහැකිය. සම කාලීනව පැවති දේශපාලන යාන්ත්‍රණය ද, භික්ෂුත්වය ද, සාපේක්ෂ අර්ථයෙන් විකෘතියක් වූවා සේ ස්ථානීය ප්‍රතිසංස්කරණ ද එම ගණයෙහි ලා සැලකීමට සප්‍රමාණික සාධක පවතී.

සම කාලීන යටත් විජිත බලධාරීන්ගේ ශාසන විරෝධී ක්‍රියාකාරකම් හමුවේ අසරණව බුද්ධ ශාසනයේ නාමයෙන් ආගමික ස්ථානවල පැවැත්ම තහවුරු කරගැනීමට වෙර දැරූ පිරිසක් ලෙස ඇගයීමට ලක්විය යුත්තේ ඔවුන්වත් නොසිටියේ නම් කුමකින් කෙළවර වන්නට ඉඩ තිබුණි ද? යන්න සිහිකරනා විටය. මේ පිළිබඳව සැලකීමේදී “සිය නෑදෑයන් සමඟ විහාර සන්තක දේ භුක්ති වින්දත් එය වැනසෙන්නට ඉඩ නොදුන් හෙයිනි අදත් ඒ ලෙසම පවතින්නේ” ලෙස වාචිස්සර හිමියන් (2003:69) කරන ප්‍රකාශය සමඟ අපි එකඟ වෙමු. මෙම පිරිසේ මැදිහත්වීමෙන් එතෙක් පෝෂිතව තිබූ පුස්කොළ පොත් සම්භාරයක් බුද්ධිමය උරුමයක් ලෙස විවිධ අභියෝග මැද පරපුරට දායාද කර දීම ද පැසසිය යුතු සේවාවකි.

උරුම සංරක්ෂණයට දායක වූ සම කාලීන භික්ෂූන්ට පෙර තවත් නියෝජනයක් වූයේ වැලිවිට සරණංකර සඟ රාජ හිමිගේ උපදෙස් මත එමෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (ක්‍රි.ව. 1747-82) අනුග්‍රහය මත ක්‍රියාත්මක වූ සිල්වත් සමාගමට අයත් සාමණේරවරු ය (මල්සිරි 2011:191). මොවුනට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීමෙන් ඉතිහාසයෙන් අයත් වූ විහාර ඉඩම්වල වලංගුතාව සක්‍රීය වූ අතර (එම) මොවුන් විසින් සම කාලීන සමාජ ආගමික අවශ්‍යතා අනුව ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී මහා බෝධිය වටා වන දැවැන්ත ප්‍රාකාර ඉදිකිරීම වැනි ව්‍යාපෘතිවලට මුලපුරන ලදී. ඉදිපැන්ගමුවේ සාමණේරයන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුරපුර නටබුන් විහාර ශේෂයන් රාශිකොට තනන ලද බෝධි ප්‍රාකාරය සම කාලීන සමාජ, ආගමික අවශ්‍යතාවකි. එහි විද්‍යාත්මක හෝ අවිද්‍යාත්මක බව කාලීන සමාජ, ආගමික සහ පාරිසරික සන්දර්භය තුළ තබා විනිශ්චය කළ යුතු වේ.

ඓතිහාසික සහ පුරාවිද්‍යා මූලාශ්‍රය කියවමින් ස්මාරක සහ ක්ෂේත්‍ර ගවේෂණයට සහ විධිමත් වාර්තාකරණයට පෙළඹීම සහ එම කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ඉහළින්ම ලබා දෙමින් කටයුතු කිරීම, එසේම වටිනා ආගමික සංස්කෘතික ස්ථාන සහ සම්පත් ආරක්ෂාවට හා සංරක්ෂණයට නෛතිකව හා ප්‍රායෝගිකව පියවර ගැනීම එහි එක් අන්තයකි. කුතුහලය දනවන මහාර්ඝ කෞතුක සහ සංසංකෘතික වස්තු සිය රටවල් වෙත රැගෙන යාම ස්මාරක ක්ෂේත්‍ර සැලසුම් සහගතව විනාශ කිරීම, සිය උරුමයන් මිහිමත පැළ කරමින් දේශීය උරුමයන් අතු ගා දැමීම, සංරක්ෂණය නොකර නොසලකා හැරීම, පැවති දේශීය උරුම සංරක්ෂණ යාන්ත්‍රණය සැලසුම් සහගතව අකර්මණ්‍ය කිරීම සඳහා නෛතික සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආදිය එහි අනෙක් අන්තයයි.

සේනක බණ්ඩාරණායක (1975:10) නිරීක්ෂණ කරන පරිදි යටත් විජිත පාලන සමය තුළ ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස අගනගර, වරායන්, පූජනීය ස්ථාන විනාශ කළ අතර සිතාමතා ම සැළසුම් කළ ප්‍රතිපත්ති මත පුරාවස්තු අපනයනය සිදු කරන ලදී. 16 වන සියවසේ පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට ආසියාවේ ප්‍රධාන නගරයක් මෙන්ම ශ්‍රී ලංකාවේ අගනුවරක් හා වෙළඳ නගරයක් වූ කෝට්ටේ කිසිදු සාධකයක් ශේෂ නොකොට විනාශ කරන ලදී. එසේම ආගමික ස්ථාන කොල්ල කෑම, ගිනි තැබීම ආදී සංසිද්ධීන් ද වාර්තා වේ. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අනුගමනය කළ තවත් උපක්‍රමයක් නම් යුධමය ක්‍රියාමාර්ග තුළින් වැනසීමට වඩා ඔවුන්ට අනන්‍ය වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් පැරණි නගර තුළ සහ සංස්කෘතික මර්මස්ථාන තුළ පැළ කරමින් පැවති දේශීය අවකාශීය සන්දර්භයන් දුෂ්‍ය කරන ලදී. පැරණි මහනුවර නගරයත්, අනුරාධපුර නගරයත් තුළ පවතින යටත් විජිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ මේ සඳහා කදිම නිදසුන්ය. යටත් විජිතකරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස දුෂ්‍ය වූ නගරයත් නව යටත් විජිත්කරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වන නූතනයේ අද්විතීය විහ්වීය උරුමයන් ලෙස උරුම ගෝලීයකරණ ක්‍රියාදාමය තුළ සාධාරණීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දැයි කෙනෙකුට හැඟී යාම සාධාරණය.

දේශීය සංස්කෘතික උරුමය සම්බන්ධව පෘතුගීසීන්ගේ සහ ලන්දේසීන්ගේ ප්‍රවේශයන් සාහසික, මර්දනකාරී සහ විනාශකාරී විය. බ්‍රිතාන්‍ය ජාතීන් පෙර සඳහන් කරන ලද උභතෝකෝටික ප්‍රවේශයන් මොනවට ප්‍රකට කළ බවට මූලාශ්‍රය සාධක බහුලය. මෙම කටයුතු බොහෝ විට රාජ්‍ය තාන්ත්‍රික විය. 1815 මාර්තු 2 ප්‍රකට උඩරට ගිවිසුම (Kandyan Convention) හරහා ශ්‍රී ලංකාද්වීපයෙහි පරිපාලන බලය බ්‍රිතාන්‍යයන් විසින් ලබාගන්නා ලදී. එම ගිවිසුමේ 5 වන වගන්තිය පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ සම කාලීන ජන ප්‍රධානීන් තුළ දේශීය උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් වූ අපේක්ෂාවයි.

“මෙකී රටවල මුලාදෑනි සහ වැසියන් අදහන්නා වූ බුද්ධ ශාසනය ද, දේවාගම ද, කඩ කළ නොහැකිව පවත්වන්නට ඕනෑවා සහ එකී කටයුතු ද, සංඝයා ද, විහාරස්ථාන ද, දේවාල ද, පවත්වන්නට සහ ආරක්ෂා කරන්නත් ඕනෑ ය” (විමලානන්ද 1963:65).

උක්ත වගන්තිය බුදු දහමේ සහ විහාර දේවාලවල ආරක්ෂාවට දුන් පොරොන්දුව නායකයන් සහ සංඝයා වහන්සේ සැලකුවේ ඉතා උසස් දෙයක් ලෙසිනි. පෙර මෙන් තම ආගමත්, විහාර ඉඩමුත් දිගටම ආරක්ෂාවේ යැයි ඔවුහු සිතූහ (විමලරත්න 1985:214). මෙම ගිවිසුමත් සමඟ එතෙක් රජු සහ ආගම වූ අතර වූ අවියෝජනීය නෛසර්ගික සබඳතාව කෘත්‍රීම බන්ධනයක් බවට පත්විය. ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් උරුමයේ පැවැත්ම වෙනුවෙන් යම් කාර්යභාරයක් අපේක්ෂා කළ ද, ඔවුන් ඒ සඳහා පූර්ණ ලෙස වගකීමෙන් බැඳී ක්‍රියාකළ බවක් තදනන්තර ඔවුනගේ ක්‍රියාකලාපයන් තුළින් ප්‍රකට නොවේ. මෙය සිතාමතාම සැලසුම් කරන ලද්දක් බව 1847 අප්‍රේල් 1 ග්‍රේ සාමි ආණ්ඩුකරුට යැවූ ලිපියෙන් පැහැදිලි වේ. ඔහු දන්වා එවූ පරිදි ඔවුන් යුධ වැදී යටත් කරගත් සියලුම රටවලට දුන් පොරොන්දුවලට සමාන පොරොන්දු උඩරට ගිවිසුමෙන් දුන් අතර එය එතරම් භාරදූරත්වයෙන් සලකා කටයුතු කිරීම අතවශ්‍යය බව කියවුණි (එම). බ්‍රිතාන්‍යයන් මෙරට සංස්කෘතික උරුමයේ පදනමීය සාධකයක් පිළිබඳව අනුගමනය කළ ප්‍රතිපත්ති සාම්ප්‍රදායික අරුම සංරක්ෂණ යාන්ත්‍රණයට තීරණාත්මක ලෙස අභියෝගයක් විය (රාජපක්ෂ 2010:12). විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාලකයින් ශ්‍රී ලාංකේය උරුම සංරක්ෂණ යාන්ත්‍රණයේ ගාමක බලවේගයන් මනාව අධ්‍යයනය කර අවබෝධ කරගෙන සිටී බව 1816 ජුනි 13 වන දින බ්‍රවුන්රිග් (Brownrig) ආණ්ඩුකාර තැන විසින් යටත් විජිත ලේකම් වෙත යවන ලද ලිපියකින් පැහැදිලි වේ.

“…මහනුවර රජු හා බුදු දහම අතර ඉතා සමීප සබඳතාවක් පවතී. ඔවුනන්ගේ විශ්වාසයක් වන්නේ ආගම මඟින් රට වැසියන් විදේශ ආක්‍රමණ ආදී සියලු උවදුරුවලින් ආරක්ෂා කරන බව ය”.

උක්ත පසුබිම වටහා ගත් විදේශීය පාලකයන් එයට හිතිමතා ම සැලසුම් සහගතව දීර්ඝ කාලීනව බලපෑම් කරන්නට විය. ටොරින්ටන් ආණ්ඩුකාර ධූරය භාර ගැනීමට පැමිණෙන විට බුදු දහම සහ රජය අතර සබඳතාව නැති කිරීමට ඔහුට උපදෙස් දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස,

  • රාජ්‍ය අනුග්‍රහය අවම වීම
  • වැඩවසම් රාජකාරී ක්‍රමය නොසලකා හැරීම‍
  • ඉඩම් රජයට අත්පත් කර ගැනීම
  • පෙර සිරිතට ගරු නොකරමින් සංස්කෘතික ස්මාරක, සිරිත්විරිත් නොසලකා හැර කටයුතු සිදු කිරීම සිදු විය.

සංස්කෘතික අරුමය ආරක්ෂා කොට රැක බලා ගැනීමේ ක්‍රියාවලිය හා බැඳී තිබූ ප්‍රධාන අංගයක් වූයේ ඒ සඳහා ආදායම් උපයා ගැනීම සඳහා විහාරාරාම වෙත පැවරී තිබූ අවකාශයයි (ගුණවර්ධන 2005:47). ඒ අනුව ගම්බිම් කෙත්වතු, වැව්, ඇලවේලි, බඳු සහ දඬ ආදායම් මාර්ග විය. සම කාලීනව (1840) බ්‍රිතාන්‍යයේ පල්ලිය සතු ඉඩම් වර්ධනය විම වළකාලීමට ගත් මෝර්ට්මේන් නීතිය (විමලානන්ද 1963:216) මෙන් ශ්‍රී ලාංකික භික්ෂු ප්‍රජාවගේ බලය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථකථනය කිරීමට පුළුවන. බ්‍රිතාන්‍ය පාලනය විසින් 1832 විහාර දේවාල ගම් පිළිබඳ කොමිසමක් හරහා හඳුන්වා දුන් ඉඩම් අයිතිය පිළිබඳ නෛතික පුතිපාදන සමඟ සාම්ප්‍රදායික වැඩවසම් කුල ක්‍රමය මත පදනම් වූ රාජකාරී ක්‍රමයට බලපෑම් එල්ල වන්නට විය (කරුණානන්ද 1990). එසේ ම 1840 මුඩුබිම් පනත මඟින් ද පුරාණ රජවරුන්ගේ සන්නස් මඟින් සිදු කළ ප්‍රදානයන්ගේ වලංගුභාවය නොසලකා හරින ලදි (විමලරත්න 1998:231). උක්ත ගැටලුව තවත් තීව්‍ර වූයේ 1956 කුඹුරු ඉඩම් පනත (Paddy Land Act) මඟිනි.

මේ සමඟ එතෙක් රාජකාරී ක්‍රමය මත විධිමත්ව ක්‍රියාත්මක වූ සේවාවන් යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය විය. ආගමික ස්ථාන වෙත තිබුණු ආදායම් සීමා වූ අතර රාජකාරී කළවුන් ඒ සඳහා සහභාගී වීමට දැක් වූ පසුගාමී බව ප්‍රධාන ගැටලුවක් විය. 1833 දී රාජකාරී ක්‍රමය අහෝසි වීම තුළ විහාරගම්වලින් ආගමික ස්ථානයන්ට සිදුවන සේවාවන් යම්තාක් දුරකට අඩපණ විය. ඔවුන් උඩරට ගිවිසුමේ සිය වගකීමෙන් කෙතරම් ශීඝ්‍රයෙන් ඈත් වෙමින් සිටියේ ද යත් 1832 දී බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළ ලංකාව පිළිබඳ පාලන වාර්තාවෙහි මහනුවර පළාත්වල විහාර ඉඩම්වලින් ලැබෙන ආදායම සීමාකර ඉංග්‍රීසි සාමනේරයක් පරිපෝෂණය කරගෙන යාමට නිර්දේශ කෙරිණි. 1856 අංක 10 ආඥා පනතේ ප්‍රතිඵලයක් ලෙස ඉඩම්වලට විසූ අය රජයට බඳු ගෙවා විහාර සේවය මඟ හරින ලදී්‍. මේ සඳහා කදිම නිදසුනකි 1939 දී අටමස්ථානාධිපති හිමියන් විසින් යටත් විජිත ලේකම් වෙත යැවූ ලිපිය. එහි සඳහන් පරිදි අටමස්ථානයේ විහාර ගම්වලින් පන්සලට කිසිදු මෙහෙයක් නොවී ය (කරුණානන්ද 1009:102). රාජකාරී ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව බ්‍රෝහියර් දක්වන අදහස කෝල්බෲක් කොමිසමේ සහ යටත්විජිත පරිපාලනයේ තීරණය දැඩි ලෙස විවේචනය කිරීමකි.

“මෙරට පැවති චාරිත්‍රවාරිත්‍ර සහ සම්ප්‍රදායන් පිළිබඳ කිසිම අවබෝධයක් නොතිබූ මේ කොමිසම ඒ නිසා පුද්ගලික නිදහසට යැයි කියමින් එවකට පැවති පුද්ගලයාට වඩා රාජ්‍ය උන්නතිය වැදගත් හැටියට සලකමින් ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය අහෝසි කළේ ‘රාජකාරී ක්‍රමය’ යන්නේ නියම අදහසවත් නොදැන ය”. කසය පාවිච්චි කරමින් මෙහෙ ගනු ලැබූ මිලේච්ඡ ක්‍රමය සමඟ ලංකාවේ තිබූ රජකාරී ක්‍රමය සමඟ ලංකාවේ තිබූ රාජකාරී ක්‍රමය සැසඳීම අත්‍යන්තයෙන්ම සාවද්‍යය. රාජකාරී ක්‍රමය අහෝසි කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ සෑම කෙනෙකුගේම වගකීමව තිබූ දෙය කිසිවෙකුගේ හෝ වගකීමක් නැති දෙයක් බවට පත්විය. කාර්යක්ෂව සුළුතරය, අලස බහුතරයේ අනුකම්පාව යටතට පත්විය …. ” (බ්‍රෝහියර් 2002: 166- 167).

බුදුදහම, විහාර ඉඩම් සහ රාජකාරී ක්‍රමය පිළබඳව බ්‍රිතාන්‍යයන් ගෙන ගිය බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති නොරිස්සූ යටත් විජිත නිලධාරියෙන් වූ එවකට ලංකාවේ ගණකාධිකාර ලෙස කටයුතු කළ සී.ජේ. මැකාර්ති බුදු දහම සමඟ සම්බන්ධය අත් හැරීම සුදුසු නොවන බව නේවා දුන්නේය (විමලරත්න 1995:217).

ඉඩම් වගා කළවුන්ගෙන් ලබාගත් විවිධ සේවාවන් එනම් ඉඳහිට කළ සේවා (උත්සව කටයුතු, ගොඩනැඟිලි නඩත්තුව), අවිච්චින්න සේවා (බෙර ගැසීම, ආවතේව), චාරිකා සේවා (බඩු සැපයීම), නිසා සංඝයාගේ ජීවිතයත්, බුද්ධාගමට අනුබද්ධ ආමිස පූජාත් අඛණ්ඩව කරගෙන යාමට ක්‍රමවේදයක් ද සැකසී තිබුණි. මේ අයුරින් බ්‍රිතාන්‍ය පාලකයන් විහාර දේපළ ඉඩම් රාජකාරී ක්‍රමය සම්බන්ධයෙන් විවධ අරමුණු සහිතව අණපනත් ඉදිරිපත් කළ ද, ඒ එකදු පනතක් හෝ සාර්ථකව ක්‍රියාත්මක කළ නොහැකිව අසාර්ථක වූයේ පැවති ක්‍රමයට ආගන්තුක සහ නොගැළපුණු බැවිනි. ඔවුනගේ ප්‍රතිපත්ති සමස්ත ඉඩම් පාලනය අවුල් කළ එකක් වූ අතර එහි විපාක අදටත් අත්විඳිමින් සිටී. උරුමයේ අයිතිකරුවෝ කවරහු ද? එහි සංරක්ෂණය කා සඳහා ද? 1815 උඩරට ගිවිසුමේ අන්තර්ගතය බ්‍රිතින්‍යයින් විසින් සැලසුම් සහගතව කඩ කරමින් සිටිනා ආකාරය වැඩිකල් නොගොස් උඩරට නිලමේවරුන්ට සහ භික්ෂූන්ට බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂ විය.

යටත්විජිත පාලකයන්ගේ එම බුද්ධ ශාසන ආගම් විරෝධී ප්‍රතිපත්තිය නොඉවසූ දේශියයන්ගේ ඒ සඳහා විරෝධතා විවිධ ස්වරූපයෙන් එල්ල වන්නට විය. 1818 ඌවේ කැරැල්ල සඳහා හේතු ගණනාවක් දැක්විය හැකි නමුදු ජාතික සහ ආගමික සම්ප්‍රදායන් දේශීය පාලනය යටතේ කුමයෙන් බිඳ වැටෙනු දැකීම එම හේතු අතර එකක්වූ බව පැහැදිලිය (ධර්මදාස 1995:240; විමලරත්න 1995:217). 1823, 1834, 1842 සිදු වූ කුමන්තුණ සහ කැරලි ඇති වූයේ පාරම්පරික දේශපාලන ක්‍රමය, සමාජ සංස්කෘතික රටාව පුනරුත්ථාපනය කරගැනීමේ පරමාර්ථයෙනි (Mills 1935:165). 1848 බ්‍රිතාන්‍ය රජයට විරුද්ධ කැරැල්ලට ද හේතු වූයේ උක්ත බෞද්ධ විරෝධී විහාර ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිමය (විමලරත්න 1995:217). මෙකී විරෝධතා හමුවේ දැඩි ප්‍රතිපත්තිවල එල්බගෙන සිටී බ්‍රිතාන්‍යය පාලනය මධ්‍යස්ථ ප්‍රතිපත්ති කෙරෙහි නම්‍යශීලී කරගැනීමට ද, සමහර අවස්ථාවල හැකි විය. නිදසුනක් ලෙස 1818 කැරුල්ලෙන් පසු 1815 ගිවිසුමේ වගන්ති සංශෝධනය කළ ද, බෞද්ධ විහාර ඉඩම් පිළිබඳව කොන්දේසි වෙනස් නොවූ අතර, එහි 21 වැනි වගන්තියට අනුව තවදුරටත් සියලු පන්සල් ඉඩම් බඳු වලින් නිදහස් කෙරිණි (එම:214). එසේම 1818 කැරැල්ල සමයේ ලබාගත් දළදාව 1853 මැයි 20 සිංහල ප්‍රධානීන්ට සහ භික්ෂූන්ට පවරන ලදි (එම:217). මේ යුගයේ භික්ෂූන් වහන්සේලා ජාතික ආගමික උරුමය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කර්තව්‍යයන්හී නිරත වී ඇති බව පෙනේ (ධර්මදාස 1995:245). 1848 කැරැල්ලේ දී මහනුවර ගංගාරාමයේ කුඩා රාහුල හිමියන් ද, 1822-23 කැරැල්ලේ දී මහනුවර ගංගාරාමයේ උඩුවේ හිමියන් ද, ප්‍රම්ඛ විය. 1848 කළුතර, පානදුර, මොරටුව ප්‍රදේශවල භික්ෂූන් ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයට එරෙහිව සංවිධානය වූ අයුරු ඩික්සන් නමැති පූජකයා වාර්තා කර ඇත (එම:245). මෙලෙස යටත් විජිත ප්‍රතිපත්ති වලට එරෙහිව ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල වෙමින් පැවති අතර එය 19 වන සියසව මැද භාගයේ දී ඇති වූ ජාතික-ආගමික ප්‍රබෝධයක මුල් පියවරක් ද විය. මෙය පසුව නිදහස සඳහා වූ අරගලයට ද පදනම විය (Bandaranayake 1975:11).

19 වන සියවස අගභාගය වන විට දිගින්දිගටම අරගල, උද්ඝෝෂණ කිරීම හේතු කොටගෙන බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පරීක්ෂා කිරීම, කියවීම, ගවේෂණය, ආරක්ෂා කිරීම කෙරෙහි අවතීර්ණ වීමක් හඳුනාගත හැකිය. මෙම හැදෑරීම ඔවුන්ගේ පාලනය පහසු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ද සිතන්නට ඇත. ඒ අනුව යමින් දේශීය සංස්කෘතික උරුමය පිළිබඳව සංවේදීව ක්‍රියා කළ පරිපාලන නිලධාරීන් පිරිසක් 19 වන සියවස අගභාගය වන විට හඳුනාගත හැකිය. මෙම හැදෑරීම ඔවුන්ගේ පාලනය පහසු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ද සිතන්නට ඇත. ඒ අනුව යමින් දේශීය සංස්කෘතික උරුමය පිළිබඳව සංවේදීව ක්‍රියා කළ පරිපාලන නිලධාරීන් පිරිසක් 19 වන සියවස අගභාගය වනවිට හඳුනාගත හැකිය. ඒ අතර හෙන්රි පාකර්, සර් ජේම්ස්. ඊ. ටෙනන්ට් (1859), එච්.සී.පී. බෙල්, මේජර් තෝමස් ස්කිනර් (1834), ඒ.ඩී. බ්‍රෝච්, ආණ්ඩුකාර හර්කියුලීස් (1871), රීස් ඩේව්ඩ්ස් (1871), ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි, ඩික්සන් ඒජන්ත (1873) හා ස්මිදර් ආදීන්ගේ පර්යේෂණ ඇතුළත් මැදිහත්වීම් සහ ක්‍රියාකාරකම් ශ්‍රී ලාංකේය උරුමයේ විශිෂ්ටත්වය ලොවට ප්‍රකාශ කිරීමට හේතු විය. එහෙත් මොවුනගේ මෙම සංස්කෘතික උරුමය සමඟ සිදු කරන කටයුතු සඳහා එවකට යටත් විජිත අභියෝග හමුවේ සන්ධානගත වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රතිරෝධය ද එල්ල විය. එච්.සී.පී. බෙල් වැන්නවුන්ගේ ක්‍රියා කලාපයන් කෙරෙහි ජාතික ආගමික ව්‍යාපාරයේ නිරතවූවන් පැහැදීමකින් නොසිටි බව පෙනේ. මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙන්නේ 20 වන සියවස මුල් භාගයේ ය. චෛත්‍ය ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සමිති ජනිත වන්නේ උක්ත පසුබිම තුළ ය. 19 වන සිවස අගභාගයේ දී ජාතිකත්වය, ස්වදේශීයත්වය ආදී සංකල්ප අගය කිරීම සහ ඊට තිබූ වටිනාකම පිළිබඳව පුළුල් සංවාදයක් ජාත්‍යන්තර තලයේ වූ අතර එය ලංකාව කෙරෙහි ද යොමු වී ලංකාවේ සංස්කෘතික උරුමය සොයා බැලීමේ සහ ආරක්ෂා කිරීමේ දී දිශානතියක් බ්‍රිතාන්‍ය පාලන සමය තුළ නිර්මාණය කළේ ය.

වර්ෂය පුද්ගලයින් ක්‍රියාකාරකම්
ගවේෂණාත්මක අවධිය
1817 රැල්ෆ් බැක් හවුස් අනුරාධපුර, පොළොන්නරු වැව් සහ නටබුන් ගොඩනැඟිලි මිනුස් ලබා ගැනීම
1828 ජොනතන් ෆෝබස් ලංකාවේ බොහෝ ස්ථානවල සංචාරය කොට අරුමයන්ගේ කාලීන ශේෂ තත්ත්වය වාර්තා කිරීම
1831 මේජර් තෝමස් ස්කිනර් අනුරාධපුර, පොළොන්නරුව පිළිබඳ වාර්තා කිරීම
1832 ජේ. ජේ. චැප්මන් අනුරාධපුර, මිහින්තලේ නටබුන් අළලා රාජකීය ආසියාතික සංගමයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම
1859 එමර්සන් ටෙනන්ට් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, මිහින්තලේ, රිටිගල, අවුකන, දඹුල්ල, මාතලේ අලු විහාරය උරුමස්ථාන වාර්තා කිරීම
1869 එල්. ලෙයිස් වින් වෙස්සගිරිය එළි පෙහෙළි කිරීම
1871 ලෝටන් ආණ්ඩුකාර හර්කියුලස් රොබින්සන්ගේ උපදෙස් මත අනුරාධපුර, පොළොන්නරු නගරයේ පුරා ස්ථාන ඡායාරූපගත කිරීම
1871 රෙයිස් ඩේවිස් අනුරාධපුර අවට සෙල්ලිපි එකතු කරන ලදී
1878 විලියම් ග්‍රෙගරි ගල් කණු, වෙහෙරවිහාර අලුත්වැඩියාව, පුරාවිද්‍යා උරුමයට වී තිබූ විනාශය පිළිබඳ වාර්තාවක් සැකසීම සහ යටත් විජිත මහ ලේකම්ට ඉදිරිපත් කිරීම
1873 ඩික්සන් ථූපාරාමය, අභයගිරිය එළි පෙහෙළි කිරීම

1873-1874

කපිතාන් ආර්. ඊ. භෝග්

ගෙඩනැඟිලිවල සඳකඩපහණ, මුරගල් ආදී මූර්ති, ඡායාරූපගත කිරීම, අනුරාධපුර නටබුන් මතු කිරීම, සෙල්ලිපි පිටපත් කිරීම

1873
ජෝන් කැෆර්
විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාර තැනගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේ පූර්ණ ගවේෂණයක් සිදු කිරීම
1875-1879 පී. ගෝල්ඩ් ස්මිත්, ම්‍යුලර්, එල්.ඩී. සොයිසා, මහා මුදලි
සෙල්ලිපි පිටපත් ගැනීම
1887 ජේ.පී. ස්මිදර්
ෆර්ගසන්ගේ නිර්දේශ මත අනුරාධපුර වඩා වැදගත් වාස්තු විද්‍යා ගොඩනැඟිලි පිළිබඳ පරිමාණානුකූල සැලසුම් සහ සැකසීම

1885, 1886,

1888-90

බරෝස්

රාජකීය ආසියාතික සංගමයේ මඟ පෙන්වීම යටතේ මිරිසවැටි ස්ථූපයේ වනාන්තර එළි කිරීම. බරෝස් විසින් කැනීමක් ඇරඹීම. ආතර් ගෝඩන්ගේ උපදෙස් පරිදි අභයගිරිය සහ මිහින්තලේ ස්තූප ඉහළ කොටස් ප්‍රතිසංස්කරණ අතර කුට්ටම් පොකුණ ප්‍රතිසංස්කරණයක් සහ මිරිසවැටි ස්ථූපයේ ආරක්ෂාව පිළිබඳ උනන්දු වීම

1890

1900

එච්.සී.පී. බෙල්

ඕර්ටෙල් මිචෙල්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (Archaeological Survey) ආරම්භ වීම සහ විද්‍යාත්මකව විධිමත්ව ස්මාරක වාර්තාකරණය (විශේෂයෙන් මධ්‍යයම සහ උතුරු මැද පළාත්වල), කැනීම්, ගවේෂණ, ලේඛන ගත කිරීම් මිරිසවැටි ස්තූපය සඳහා ප්‍රතිසංස්කරණ සැලසුම් සැකසීම

තහවුරු කිරීමේ අවධිය (1910 – 1940)
 
1910 එච්.සී.පී. බෙල් ස්මාරක තහවුරු කිරීම (Consolidation) නමුත් භාවිත කළ වචනය සංරක්ෂණය (Conservation) යන්නය
1912 ඊ.ආර්. අයර්ටන් විධිමත් සංරක්ෂණ කටයුතු ඇරඹීම (රත්න ප්‍රසාදය සංරක්ෂණය)

1912–22,

1922-27

ආතර් මොරිස්

හොකාට්

සංරක්ෂණ කටයුතු විධිමත් ලෙස මෙහෙයවීම, කැනීමෙන් පසු සංරක්ෂණ කටයුතු අනිවාර්ය බව අවධාරණය කිරීම, සංරක්ෂණ මූලධර්ම වර්ධනය කිරීම, පුහුණු වාස්තුවිද්‍යා සංරක්ෂණ කටයුතු, ස්ථීර කාර්ය (කම්කරු) මණ්ඩලයක් නඩත්තු කටයුතුවල නියුක්ත කරවීම

1920 පසු

ජාතික ව්‍යාපාරය, ප්‍රතිසංස්කරණ සමාගම්වල ක්‍රියාකාරකම්,  ප්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරය, නීති විරෝදී ප්‍රතිසංස්කරණ (ථූපාරාමය, රුවන්වැලිසෑය)

අර්ථකථනාත්මක විග්‍රහාත්මක අවධිය I
1940-56 සෙනරත් පරණවිතාන සංරක්ෂිත ස්මාරක අර්ථකථන සඳහා පෙළඹීම, කැනීම්, පර්යේෂණ, සංරක්ෂණ, අර්ථකථන (කූට්ටම් පොකුණ, රන්මසු උයන, මැදිරිගිරි වටදා ගේ, කණ්ඨක චේතිය, යාපන නගරය, දක්ඛිණ ස්ථූපය), ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණ ඇරඹීම (සුළු පරිමානයෙන්), පුරා වස්තු ආඥා පනත 1940, රක්ෂිත ස්මාරක ප්‍රකාශයට පත් කිරීම, ප්‍රතිසංස්කරණ සඳහා මූලධර්ම ස්ථාපිත කිරීම, පැරණි ස්වරූප ආරක්ෂා කළ යුතු බව අවධාරණය කිරීම
විග්‍රහාත්මක අවධිය II
ස්තූප ප්‍රතිසංස්කරණයේ දී නව මානයක් අනුව කටයුතු කිරීම, අවසන් පෙනුම සංකේත‍ාත්මක අරුත, සැදැහැවතුනගේ අවශ්‍යතාව, ගොනැඟිලි ව්‍යුහයන් ආරක්ෂාව සඳහා පියසි, ආවරණ ඉදිකිරීම, ස්ථීර වාස්තු විද්‍යා සංරක්ෂණ අංගයන් ස්ථාපිත කිරීම, උදාගම් සංකල්පය සහ සංස්කෘතික උරුම ස්ථාන ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන ආයතන ස්ථාපිත වීම, රෝලන්ඩ් සිල්වා, ප්‍රේමතිලක, බණ්ඩාරනායක වැනි විද්වතුන්ගේ ක්ෂේත්‍ර අර්ථකථනාත්මක පර්යේෂණ

ගුව 1 – යටත් විජිත බ්‍රිතාන්‍ය සමය පශ්චාද් යටත් විජිත සමය තුළ සංස්කෘතික උරුම සඳහා මැදිහත්වීම (ගුණවර්ධන 2005:65-78)

ජාතික ව්‍යාපාරය

1920 ගණන්වල සිට ‘ජාතික ව්‍යාපාරය’ පදනම් කොට මෙරට තුළ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා සංස්කෘතික උරුමය පිළිබඳව පුළුල් සංවාදයක් ජනිත වූ අතර ඒ සඳහා පුරෝගාමී ප්‍රබල චෝදනාවක් වූයේ දේශීය සංස්කෘතික උරුමය කෙරෙහි යටත් විජිත පාලකයින් දැක් වූ නොසැලකීමේ සහ අවතක්සේරු කිරීමේ එමෙන්ම විනාශ කිරීම ප්‍රතිපත්තියයි. විශේෂයෙන් දේශීය ප්‍රජාවගේ ශුද්ධ අවකාශයන් මෙන් ම ජීවමාන සංස්කෘතික උරුම ක්ෂේත්‍රයන් වූ අනුරාධපුර, මහනුවර ආදී ඓතිහාසික උරුම භූමියන්හි/නගරයන්හි පැරණි ස්වභාවික හා සංස්කෘතික උරුමය සහ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳව සැලකිල්ලට නොගෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් භාවිත ඉදිකිරීම් සිදු කිරීමට ගත් පියවර නිසා දේශීයයන්ගේ ඒ සඳහා ප්‍රබල පතිරෝධයක් එල්ල විය. 1912 දී වලිසිංහ හරිශ්චන්ද්‍ර ලියූ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ නැමැති ග්‍රන්ථය මඟින් යටත්විජිත ආණ්ඩුව විසින් කතෝලික ආගමික ගොඩනැඟිලි, වාණිජමය ඉදිකිරීම් මඟින් ඓතිහාසික සහ සාම්ප්‍රදායක බෞද්ධ ස්මාරක ගොඩනැඟිලිවලින් සමන්විත සංස්කෘතික භූ දර්ශනයක් සහිත නගරවල ඇතිවන විකෘතිතා සහ වෙනස්කම් ආදිය පෙන්වා දී ඇත. මෙම යටත්විජිත රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා දේශීය සංස්කෘතික උරුමය විනාශ වීමට සහ විකෘති වීම ප්‍රබල හේතුවක් වන බව එවකට ජාතික ව්‍යාපාරයේ පුරෝගාමීන් වූ වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල වැන්නවුන් විසින් රට තුළ ප්‍රබල මතාවාදයක් ප්‍රචාරය කළහ.

උරුම සංරක්ෂණය සහ මතවාදී අර්බුද

යටත්විජිත පාලනය තුළ උරුම සංරක්ෂණය උදෙසා ආයතනමය ප්‍රවේශයක් 1890 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත වීම සමඟ ඇරඹිණි. එහි පළමු කොමසාරිස් වූයේ එච්.සී.පී. බෙල් ය (කරුණාරත්න 1990:4). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය (Silva 1968; Wijesekara 1990) විශාල වශයෙන් රටේ ස්මාරක සංරක්ෂණය පිළිබඳ ඉතිහාසය ද වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිය නෛතික රාමුව තුළ සිට පුරාවිද්‍යා කටයුතු කරගෙන යන ලද අතර ඒ දෙස දේශීය ප්‍රජාවගේ ප්‍රතිචාරය සුබවාදි එකක් නොවීය. ඒ දෙස ඔවුන් බැලුවේ සැකසංකා සහිතව සහ විරෝධාකල්පයකිනි. එය පුජා භූමි ආක්‍රමණය කිරිමක් හා පුරාවස්තු විනාශ කිරීමක් ලෙස චෝදනා එල්ල විය.

රාජ්‍ය බලය භාවිත කරමින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ක්‍රියාත්මක වු අතර තත් ප්‍රයත්නයන් නොතැකූ දේශීය ප්‍රජාව ද සමිතිසමාගම් හරහා සංවිධාන වී උරුම සංරක්ෂණයට පෙළඹෙන අයුරු දැකගත හැකිය. මෙය එක් අතකට පූජනීය ශුද්ධ අවකාශය එහි උරුමයේ අයිතිය මුල්කරගෙන දෙ පිරිසක් අතර ඇති වූ අරගලයකි. අටමස්ථාන කමිටුව ස්ථාපිත කිරීම බෞද්ධයින් දුටුවේ ශුද්ධ නුවර පැහැර ගැනීම උදෙසා දරන ලද ප්‍රයත්නයක් ලෙසිනි (හරිස්චන්ද්‍ර 2001:297). යටත්විජිත ආයතනමය ප්‍රවේශයට ප්‍රතිචාර ලෙස සංරක්ෂණ සමාගම් (Restoration Societies) හරහා දැවැන්ත ස්ථූප සංරක්ෂණයට පියවර ගනු ලැබීය. ඒ වන විට නටබුන්ව පැවති ජීවමාන සම්ප්‍රදාය එතෙක් නටඹුන් බව පිළගැනීමට අකමැති වූ දේශීයයන් විසින් දැක් වූ ප්‍රතිචාර තුළින් පෙනේ. “සිද්ධස්ථානවලට අදාළව පර්යේෂණාත්මක ගවේෂණ සඳහා ඉඩදිය හැක්කේ  බෞද්ධාගම මියගිය ආගමක් නම් පමණි” යැයි හරිශ්චන්ද්‍ර ලිවීය (හරිස්චන්ද්‍ර 2001:327). 19 වන සියවස අග භාගයේ සහ 20 වන සියවස මුල් භාගයේ මෙම දෙ පිරිසේ ක්‍රියාදාමයන් සිදු වූ අතර මිහින්තලය බෞද්ධ සංගමය, රුවන්වැලි සෑ දාගැබ් සංරක්ෂණ සමිතිය (හෙට්ටිආරච්චි 1990:59) ඉන් කීපයකි. ඉන් අනතුරුව එළඹෙන සියවසේ උරුම සංරක්ෂණයේ දිශානතිය කෙරෙහි ඒවායින් සිදු කරන ලද බලපෑම ඉතා වැදගත් වේ.

ක්‍රිස්තු වර්ෂ 1900 යටත්විජිත පාලකයින් විසින් රාජකීය ආයතනික සමාගමේ (Royal Asiatic Society) ඕටෙල් (Oertel) වැනි වාස්තු විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් හරහා සැලසුම් සහගතව ආගමික අවශ්‍යතාවට උචිත ලෙස ප්‍රතිසංස්කරණයට පෙළඹිණ. එහි දී සැලකිය යුතු කරුණක් වූයේ ඔවුන් විසින් එය භාවිත කරන බෞද්ධයින්ගේ අවශ්‍යතා සඳහා එහි බාහිර පෙනුම හැකිතාක් සමීප වන ලෙස ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම ය (Oertel 1903:9). එය සමකාලීන බෞද්ධයින්ගේ අවශ්‍යතාවට ගරු කිරීමකි. එහෙත් එම ව්‍යාපෘතිය කිසිදා නිම වූ බවක් නොපෙනේ. මෙම ක්‍රියාදාමයට සමගාමීව ප්‍රතිසංස්කරණ සමාගම් හරහා සිය කටයුතු කරගෙන ගිය දේශීය ප්‍රජාවගේ ප්‍රතිසංස්කරණ යටත්විජිත පුරාවිද්‍යා බලධාරීන් වූ බෙල් වැන්නවුන්ගේ විවේචනයට ලක්විය. ඒ කිසිදු විවේචනයකින් හෝ තත් ක්‍රියා පාලනය කළ නොහැකි වූයෙන් 1911 වන විට ථූපාරාමයත්, 1930 ගණන් වන විට රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණත් බෞද්ධ ප්‍රජාව විසින් නිමවා තිබුණි (Wijesuriya 1993:33). එම ප්‍රතිසංස්කරණ යටත්විජිත පාලකයින් ලේබල් කළේ ‘විනාශයන්’ (Vandalism) ලෙසිනි. උක්ත ප්‍රතිසංස්කරණ මැදිහත්වීම ඔවුන් හැඳින්වූයේ ශ්‍රද්ධාවෙන් මුසපත් වූ අවිද්‍යාත්මක, කලාත්මක රුචිකත්වයක් නොමැති විනාශකාරීන්ගේ ක්‍රියාදාමයක් ලෙස ය. මේ කාලය තුළ ප්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරයක් යටත් විජිත රජය ගෙන ගිය අතර ඒ හේතුවෙන් පුරාවිද්‍යා අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා අතර ගැටුමක් ඇති විය (ප්‍රනානාදු 1990:99).

මේ සම්බන්ධයෙන් 1930 දී රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රි ලංකා ශාඛාව අමතමින් ‘LA Ecole Franchise de Extreme Orient’ ආයතනයේ ප්‍රකට පුරාවිද්‍යාඥයෙකු වූ ආචාර්ය ගොලබියු (Goloubew) කරන ප්‍රකාශය උක්ත ප්‍රතිසංස්කරණ පිළිබඳව යටත්විජිත විද්වතුන්ගේ ආකල්පය මනාව ප්‍රකට කරයි (ASCAR 1931). මෙම විවේචනයක් ජෝන් රස්කින් (John Ruskin) සහ විලියම් මොරිස් (William Morris) වැනි බටහිර ආන්තික වාස්තු විද්‍යා සංරක්ෂණවාදින්ගේ මතවාදයන්හි එල්බ ගත් බටහිර පාලකයින්ගේ දෘෂ්ටිකෝණයයි. විවේචනය ඉතා දැඩි වූයේ බටහිර සංරක්ෂණවාදී මිනුම් දඬු, සංකල්ප සහ ක්‍රමවේද සහිත ආකෘතියක් තුළට පෙරදිග සංරක්ෂණ ප්‍රවේශයන් බලහත්කාරයෙන් ඇතුළු කිරිමට යාමේ සාවද්‍ය ප්‍රවේශය සහ ක්‍රමවේදය නිසා විය හැකිය. එසේ ම සම කාලීන බටහිර සංරක්ෂණ දෘෂ්ටිකෝණයේ අවශ්‍යතා සඳහා පෙරදිග රටක ජීවමාන ආගමික අවශ්‍යතා අවබෝධ කරගැනීමට නොහැකි වීම මේ තුළින් විද්‍යමාන කෙරේ. සංරක්ෂණ වෘත්තිකයින්ට උරුම සංරක්ෂණ සම්බන්ධයෙන් වර්තමානය වන තුරුත් විසඳා ගත නොහැකි අර්බුධයක ප්‍රභවය මෙහි දී හඳුනාගත හැකිය. එනම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඇගයීම් සහිත බටහිර ද්‍රව්‍යාත්මක තථ්‍යතාව (Material Authenticity) පදනම් කරගත් සංරක්ෂණ විද්‍යාවේ අවශ්‍යතාත්, දේශීය ජීවමාන බෞද්ධාගමේ අවශ්‍යතාත් තුලනය කිරීමට යාම තුළ මුහුණ දුන් ගැටලුවයි.

මේ වනවිට හෝකාට්ගේ නායකත්වයෙන් (1922-26) ස්ථාවර නියෝග ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බටහිර මූලධර්ම මත පදනම්ව ස්මාරක සංරක්ෂණ මෙහෙයුම් නිර්ණායක (Guideline for consolidation of monument’s) ද ස්ථාපිත කර තිබුණි (Wijesuriya 1993:16).

මෙහි දී අප විසින් නැඟිය යුතු සාධාරණ ප්‍රශ්නයක් නම් උරුමයේ භාරකරුවෝ කවරහු ද? උරුමයේ ප්‍රතිසංස්කරණය කා සඳහා ද? යන්නයි. බෞද්ධ ප්‍රජාවගේ සැදුම් ලත් ප්‍රතිසංස්කරණ ප්‍රජාවගේ ආගමික අවශ්‍යතා සඳහා විය යුතුය යන දැඩි මතයේ සිට ක්‍රියා කළ බව පෙනේ.

උක්ත පසුබිම තුළ යටත්විජිත පාලකයින් නෛතික ක්‍රියාමාර්ග තුළින් සිය අයිතිය සහ භාරකාරත්වය භාවිත කර උක්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් පාලනයට අදහස් කළේ ය. නව නීතියක ප්‍රභවය මේ අයුරින් ප්‍රතිසංස්කරණ පදනම් කර ගනිමින් ප්‍රභවය වූ බව පෙනේ. ඒ වනවිට පැවති 1890 පුරාවස්තු ආඥා පනත (Antiquities Ordinance of 1890) තත් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන්ට එරෙහිව මැදිහත් විම සඳහා ප්‍රමාණවත් නොවූ බැවින් ඉන්දියානු ආකාතියේ නෛතික පනතක අවශ්‍යතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවධාරණය කර ඇත (ASCAR 1933). මේ සඳහා නෛතික අවශ්‍යතාව එවකට අභ්‍යන්තර කටයුතු සහඅධ්‍යාපන ඇමතිගේ අවධානයට යොමුකර ඒ සඳහා ක්‍රියාත්මක වීමට කමිටු පත් කිරීමක් ද සිදු කළ බව සඳහන් වේ (එම). මෙහි අවසන් ඵලය  වූයේ පුද්ගලික අයිතිය සහ කිරීටය සතු භූමියන්හි පවත්නා ස්මාරක ප්‍රතිසංස්කරණ පාලනය කිරීම අරමුණු කර ස්ථාපිත කළ 1940 පුරාවස්තු ආඥා පනතේ ප්‍රභවයයි (ASCAR 1940-49).

දේශීය සන්දර්භයක් තුළ බටහිර පදනමීය රාමුවේ වලංගුභාවය මෙහි දී දේශීයයන් විසින් ප්‍රශ්න කරන ලදී. මෙය දේශීය සංයුක්ත ප්‍රතිපත්තියකට වඩා වියුක්ත ප්‍රතිපත්තියකි. එහෙත් මෙම ක්‍රියාදාමයන් තත්කාලීන දේශීය බෞද්ධ ප්‍රජා අවශ්‍යතා ස්පර්ශ කිරීමකට වඩා වෘත්තිකයන් අවශ්‍යතා ඉටු කිරිම අරමුණු කර ගත් විට ජනතාවගේ ප්‍රතික්ෂේප වීම දැකගත හැකිය. මෙහි දී පුරාවිද්‍යා දෙපාර්මේන්තුව බෙල්, අයර්ටන්, හෝකාට් වැන්නවුන්ගේ ප්‍රධානත්වයෙන් වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් විධිමත් ගවේෂණ, කැනීම් සහ සංරක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී අතර ප්‍රතිසංස්කරණ සඳහා යොමු නොවී ය (Wijesuriya 1993:16-17). මේ අවස්ථාව වන විට උරුමය එහි ප්‍රජාව අතර පැවති සබඳතාව අතීතයට සාපේක්ෂව තරමක් දුර්වලව තිබූ නමුත් ජාතික ව්‍යාපාර, ආගමික පුනරුද හරහා එය නැවතත් ශක්තිමත් වෙමින් පැවතිණ. මේ අවස්ථාවේ ප්‍රජාව සහ උරුමය අතර සබඳතාවට විදේශීය වෘත්තිකයින් ආදේශ කරන ලදී. ප්‍රජාව සහ උරුමය අතර සබඳතාව ශක්තිමත් කිරීමට නොහැකි වූ දේශියයන්ට ඔවුන්ගේ බටහිර මූලධර්ම පදනමීය විද්‍යාත්මක සංරක්ෂණ ආගන්තුක වූවක් විය.

1940 දී පුරාවස්තු ආඥා පනත ස්ථාපිත කිරීමක් සමඟ එතෙක් විදේශීය වෘත්තිකයින් අත පැවති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධිපතීත්වය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයකු අතට පත්වන්නේ සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත් වීමත් සමඟ ය. විදේශිය වෘත්තිකයින් හරහා තමන්ට ඉටු කර ගත නොහැකි වූ දෙය දේශීය වෘත්තීමය නායකත්වයක් හරහා ඉටු කර ගැනීමට යටත් විජිත පාලනයේ අවසන් භාගයේ අපේක්ෂා කළා විය හැකිය. ඔහුගේ සංරක්ෂණ ප්‍රතිපත්ති දෙස බලන කල එය බටහිර සංරක්ෂණ විද්‍යාවේ මූලධර්ම මත ක්‍රියාත්මක වූවක් බව පැහැදිලිය. අර්ථකථනයට මුල් තැනක් දුන් ඔහු පුරාවිද්‍යා උරුමය රැක ගැනී‍මේ කිසියම් උරුම වස්තුවක පෞරාණිකත්වය විනාශවන නවීකරණ කටයුතු සම්බන්ධ කර එහි පැරණි ආකෘතිය වෙනස් නොකළ යුතුය යන්න මූලධර්මයක් ලෙස අනුගමනය කළේ ය. මොහුගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් යාපහු නගරය, නිල්ලග්ගම බෝධිඝරය, මැදිරිගිරි, වටදා ගෙය, රන්මසු උයන, කූට්ටම් පොකුණ, අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය නගර තුළ සිදු කළ සංරක්ෂණ කටයුතුවලින් මනාව ප්‍රකට වේ. ප්‍රනාන්දු (1990) සඳහන් කරන පරිදි,

“පරණවිතාන මහතාගේ කාලයේ තැහැවිරීම් කරන ලද්දේ කිසිම අලුත්වැඩියාවක් නොකරන ලද සේ පෙනීමට සහ එහි ඇත්තේ මුලින් තිබූ කර්මාන්තය යැ යි යන හැඟීම දීමට ය” (ප්‍රනාන්දු 1990:100).

පශ්චාත් යටත් විජිත අවධිය

1948 දී යටත් විජිත පාලනයෙන් නිදහස ලැබුව ද යටත් විජිත සංරක්ෂණ ප්‍රවේශයන්ගෙන් මිඳීමට දේශීය වෘත්තිකයන්ට නොහැකි විය. එයට හේතුව බටහිර අධ්‍යාපනය හරහා ශික්ෂණය පුහුණු කළ දේශිය වෘත්තිකයින් විසින් ම තත් කටයුතු මෙහෙය වීමය. විජේසූරිය (1993:18) වර්ගීකරණය කරන පරිදි පුරාවිද්‍යා ඉතිහාසයේ දෙ වන අර්කථනාත්මක අවධියක් ලෙස හඳුනාගන්නා වූ 1960–1990 කාල පරාසය මෙම පර්යේෂණයට බඳුන්වන ජගත් උරුම නගර දෙක සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වේ. වර්තමානයේ මුහුණ දෙන්නා වූ උරුම සංරක්ෂණයේ අර්බුදය මෙම කාල සීමාව දක්වා කෙසේ පැමිණියේ ද යන්න වටහා ගැනිම වැදගත් වේ. පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ඇතිවන සමාජ, දේශපාලනික වාතාවරණය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ජනතා අවශ්‍යතා සඳහා තවදුරටත් පිටුපා සිටිය නොහැකි විය. යටත්විජිත අවධිය තුළ දේශීය උරුමය විවිධ අභියෝගයන්ට මුහුණ දුන් අතර ඉන් මිදුණු පසු ජනතාවගේ පිඩනය විසින් ජනතාවගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සම්ප්‍රදායික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් සඳහා බල කෙරිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නායකත්වය 1957 දී ගොඩකුඹුරේ බාරගත් අතර ඒ වන විට ඔහුගේ ආකල්ප සහ ප්‍රතිපත්ති බොහෝ දුරට ජනතා අවශ්‍යතා ඉටු කිරීම කෙරෙහි යොමු වී තිබුණි.

“අප රටේ පැරණි ස්ථාන බොහොමයක් මහජනතාවගෙන් වැඩි කොටසක ආගම හා බැඳී පවතින හෙයින් ඒ පිළිබඳ පුරාවිද්‍යා කටයුතු කිරීමේ දී විද්‍යාවේ පමණක් නොව ආගමේ ද අවශ්‍යතාව සිහි තබගෙන කටයුතු කළ යුතු වෙනවා ය” (ASCAR 1961/62:233).

උක්ත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ විද්‍යාවේ අවශ්‍යතා සහ ආගමේ අවශ්‍යතා තුලනය අවශ්‍යතාවයි. අනාගතයේ එම ප්‍රතිපත්ති ක්‍රියාක්මක වනු දැක්මේ අපේක්ෂාවෙන් ගොඩකුඹුරේ පසු වූ බව පෙනේ.

උක්ත ප්‍රතිපත්ති තුළ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ස්මාරක ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිසංස්කරණ පාලනය කිරීමේ අරමුණින් නිර්මිත නෛතික රාමුව තුළ සිට ම ප්‍රවේශ වීම දැක ගත හැකිය. මෙය ජනතා/ප්‍රජා අවශ්‍යතා වෙනුවෙන් නීතිය නම්‍යශීලී කර ගැනීමකි. මෙම අවස්ථාව ‘උරුමය සහ ප්‍රජාව සඳහා ය’ යන ප්‍රතිපත්තිය ප්‍රමුඛ වූ අවශ්‍යතාවක් ලෙස සඳහන් කළ හැකිය. මේ අවධියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වෘත්තිකයින්, එසේම ආගමික බලධාරීන් සහ උපදේශක මණ්ඩලය හරහා ප්‍රතිසංස්කරණ සැලසුම් සැකසුණු අතර එම සැලසුම්වල ප්‍රධාන අරමුණ වූයේ තත් ආගමික ස්ථාන විශේෂයෙන් ම ස්තූපවල ආගමික වැදගත්කම සහ උපයෝගීතාවේ අගයයි (Wijesundara 2005:41). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුගමනය කළ මෙම සංස්කෘතික අගය පදනම සහ උපයෝගීතා පදනම යටත් විජිත සහ බටහිර පදනමීය සම්ප්‍රදාය යම් ප්‍රමාණයකට වියුක්ත කිරීමෙහි ලා සමත් විය. මෙය යම් ප්‍රමාණයකට සම්ප්‍රදායික සංරක්ෂණ ඇගයීම් පදනම හා සංවේදී වීමකි. මෙම ප්‍රතිසංස්කරණයන්හි දී හුදෙක් ද්‍රව්‍යාත්මක ශේෂ ආරක්ෂා කිරීමට වඩා ඒවායේ පරිපූර්ණත්වය, හැඩය යළි උදා කිරීම තුළින් ඊට අනුබද්ධ සංකේතාත්මක අරුත පෙන්විමට ප්‍රයත්න දරන ලදී. මේ කර්තව්‍ය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ වන විට පැවති නෛතික රාමුව තුළින් අවශ්‍යය පරිදි මූලධර්ම සකසා ගන්නා ලද අතර ඒ තුළ ද, බටහිර ප්‍රතිසංස්කරණ සංකල්පයේ මූල බීජ පදනම් වී ඇතත් එම මූලධර්ම ස්මාරක බද්ධ ජීවී ගුණය යළි පිබිදවීම සඳහා දිශානතියක් නිර්මාණය කර ඇති බව පෙනේ.

  • පුරාවිද්‍යා දත්ත සහ අදාල දත්ත සමඟ ප්‍රතිසංස්කරණ සැලසුම් සැකසීම
  • උපකල්පන පිළිගැනීම
  • සියලු මැදිහත්වීම් පිළිබඳ සවිස්තර වාර්තා තැබිම
  • අභ්‍යන්තර ආරක්ෂා කිරීම පිණිස මෑත කාලීනව ඓතිහාසික අවධිය තෝරා ගැනීම (ඇතැම් පූර්ව අවධි ප්‍රදර්ශනය)
  • තෝරාගත් පදනමකින් ස්තූප ප්‍රතිසංස්කරණය
  • සම කාලීන මුද්‍රාව සහිතව නව ද්‍රව‍්‍ය පැරණි ඒවායේ ප්‍රමානවලට අනුකූලව භාවිත කිරීම
  • පැරණි ද්‍රව්‍යවලට අවම හානියක් වන පරිදි කටයුතු කිරීම
  • නූතන ද්‍රවය සහ තාක්ෂණය භාවිතය දිරි ගැන්වීම (Wijesuriya 2005:41).

උක්ත මූලධර්ම පදනම්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රතිසංස්කරණ සඳහා කතරගම කිරිවෙහෙර, යටාල ස්තූපය, සඳගිරි ස්තූපය, දෙමටහල් විහාර ස්තූපය වැනි ස්තූප නිදසුන් ලෙස දැක්විය හැකිය (Wijesuriya 1993:45-56).

1970 සහ 80 දශක වන විට  ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා උරුම සංරක්ෂණ සම්බන්ධයෙන් වූ ස්ථාවරය ඒ අනුව බුදු දහම ජීවමාන ආගමක් වන හෙයින් එහි අඛණ්ඩත්වය තහවුරු වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරිම ය. වෘත්තිකයින් කාර්යභාරය ඒ සඳහා ක්‍රියා කිරීම ය.

1980 දශකය තුළ ජගත් උරුම සංකල්පය හරහා මධ්‍යම සංස්කෘතික අරමුදලත්, සංස්කෘතික ත්‍රිකෝණ ක්‍රියාවලියත් සන්දර්භගත කළ යුත්තේ උක්ත පසුබිම තුළ ය. පසුගිය දශකත්‍රය තුළ සංස්කෘතික ත්‍රිකෝණයේ ජගත් උරුමස්ථාන කෙතෙක් දුරට උක්ත අරමුණු මුදුන් කරවා ගැනීම උදෙසා ක්‍රියාකර තිබේද? යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. ඒ අනුව සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය අහඹුවක් නොව කාලීන ජාතික, ආගමික අවශ්‍යතාවක් උදෙසා නිර්මාණය වූවක් බව පැහැදිලි ය. දේශීය උරුමස්ථාන සම්බන්ධ මෙම ජාතික ආගමික අවශ්‍යතාව සමකාලීන උරුමය, සංරක්ෂණ සංකල්ප, ගෝලීයකරණ චල්‍යතා හමුවේ හැසිරීම තුළ දේශීය උරුම සංරක්ෂණයේ දී දිශානතිය කෙතෙක් දුරට ප්‍රජා අවශ්‍යතා සහ යහසාධනය කෙරෙහි සංවේදී වී තිබේ ද? යන්න විමසා බැලිය යුතු ය. දේශීය සන්දර් භය තුළ උරුම සංරක්ෂණ ක්‍රමවේදයන්හී අර්බුදයක් නැතැයි කිව නොහැකිය. යටත්විජිත පාලන ක්‍රමය ඒ රටවලට අහිමි වූ විට ඔවුන් විසින් තත් රාජ්‍ය ඔවුනගේ ක්‍රමය තුළ ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරන්නට විය. සංචාරක ව්‍යාපාරය තුළ සත්කාරක ආගන්තුක සබඳතාව, යැපීම් සබඳතාව, සූරා කෑම සංකල්පමය ආධිපත්‍ය විමසා බලන විට ඒ බව පැහැදිලි ය.

1970 දශකයේ සිට සංචාරක ව්‍යාපාරය නව අධිරාජ්‍යවාදයක් (New form of Imperialism) ලෙස විද්වතුන් අතර සාකච්ඡා විය (Turner and Nash 1975:Nash 1977). එසේම රොබ්න්සන් (Robins 1997) විස්තර කරන පරිදි ගෝලීයකරණය සමඟ ජාතික රාජ්‍යයන්හි හා ප්‍රජාව සතුව පැවති විවිධ සීමා සහ ව්‍යුහයන් යම් ආකාරයකට දියවීමකට ලක් විය. එබැවින් ජගත් උරුමය, ජාත්‍යන්තර ප්‍රඥප්ති මෙන් ම පදනමීය සංරක්ෂණ සංකල්පය තුළ පවත්නා දේශපාලනය කෙරෙහි ද, අපගේ අවධානය යොමු කළ යුතු වේ.

අසහාය නායකත්වයෙන් දේශීය චින්තනය, බෞද්ධ අනන්‍යතාව (Sinhalease–Buddhist Identity) වැනි ප්‍රවණතා තුළ සංස්කෘතික උරුමයන්ට විශේෂත්වයක් හිමි ය. 1956 දී සිදු වූ දෙ දහස් පන්සිය වැනි බුද්ධ ජයන්තිය අනුස්මරණය වැනි සිදුවීම් හරහා සිංහල-බෞද්ධ ජාතිකවාදය (Sinhalease–Buddhist nationalism) වර්ධනයට මඟ පෑදුණි. මීට සමගාමීව පූජනීය ස්මාරක ප්‍රතිසංස්කරණය, සිංහල අනන්‍යතාව ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස සලකන ලදී.

පශ්චාද් යටත් විජිත යුගයේ ආරම්භයේ දී එනම් 1948–1956 කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ පාලනයට පත් වූ දේශපාලන නායකත්වයන් බ්‍රිතාන්‍යය අධ්‍යාපනයෙන්, ක්‍රිස්තියානි ආගමෙන් ලද ආභාසයන් හරහා අගයන්ගෙන්, ආකල්පයන්ගෙන් සහ දැක්මෙන් බටහිරකරණයට ලක් වූවන් වේ. එහෙයින් 1948–1956 කාල පරාසය හුදෙක් යටත් විජිත ශ්‍රී විභූතිය (Legacy) අඛණ්ඩව ගෙන ගිය අවධියක් ලෙස හඳුන්වා දෙනු ලැබේ (Brechert 1978; Singer 1964; Ponnambalam 1980). මෙම කාලය තුළ දේශපාලඥයින් වූ ඩී.එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල වැන්නන් එවකට මතුවෙමින් පැවති සිංහල බෞද්ධ මතවාදයන්ට දැක් වූ අශුභවාදී, අහිතකර ප්‍රතිචාර හේතුවෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට සිංහල බෞද්ධ ජාතිවාදය සඳහා අවකාශයක් නිර්මාණය විය. නිදහස් රාජ්‍ය තුළින් සිංහල බෞද්ධ අනන්‍යතා සහ සංස්කෘතික අපේක්ෂාවෙන් සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වතැයි බලාපොරොත්තු වූව ද එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දේශීය ආහාර නිෂ්පාදනයත්, ස්වයංපෝෂිත බවක්, අපේක්ෂාවෙන් නිදහස් ආර්ථික ජාතිකවාදයක් විශ්වාස කරමින් කටයුතු කළේ ය.

ශ්‍රී ලංකාවේ පශ්චාද් යටත් විජිත රාජ්‍යය නූතන බටහිර ආකෘතියේ උරුම සංරක්ෂණ සහ කළමනාකරණ ආකෘතියට සමගාමීව දේශීය උරුම සංරක්ෂණ ක්‍රමවේදයන් මෙහෙයවීමේදී තීරණාත්මක පිළිවෙතක් අනුගමනය කර ඇති බව පෙනේ. දේශීය සම්ප්‍රදායන්ට ගරු කරමින්, එය ප්‍රතිනිර්මාණයට මූලිකත්වය දෙමින් කටයුතු කිරීම රාජ්‍යයේ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක සාධකයක් විය. නිදහසයට පෙර එනම් යටත් විජිත යුගයේ පාලකයා විදේශීය යුරෝපීය ජාතිකයන් වූ අතර පාලිතයා දේශීය ප්‍රජාව විය. නිදහසින් පසු උක්ත දෙපාර්ශවය ම නියෝජනය කළේ ශ්‍රී ලාංකේය ප්‍රජාවයි. කෙසේ වෙතත් 1948න් පසුව යටත්විජිත යුරෝපීය පාලකයින්ගේ බලය විතැන් වූයේ යටත් විජිතකරණයට පත් වූ ප්‍රභූ පැළැන්තියට ය. මේ නිසා ම නව රාජ්‍යයට ජාත්‍යන්තර දේශපාලනික සහ ආර්ථික ප්‍රවණතාවන්ට ප්‍රතිරෝධයක් එල්ල කිරීමට නොහැකි විය (Hennayake 2006). එසේ ම ඔවුනගේ දේශීය ප්‍රජා අවශ්‍යතාවක් වූ දේශීය අනන්‍යතාව, අතීත ශ්‍රී විභූතිය සහ ආගමික අගයන් ප්‍රතිනිර්මාණයට බැඳී සිටියේ ය. උරුම සංරක්ෂණය පිළිබඳ දේශීය අදහස් ක්‍රියාවට නැගීම තුළ, දේශපාලන වටිනාකමක් පවත්නා බව දේශපාලන ප්‍රභූන් විසින් අවබෝධ කරගනු ලැබ තිබුණි. මේ අනුව පශ්චාද් යටත් විජිත ලංකාවේද පාලකයා හා පාලිතයා අතර සබඳතාව දේශපාලන සහ සංස්කෘතික සංවේදීත්වය අතර සබඳතාවක් ජනිත කළේ ය. මේ අනුව සංස්කෘතිකමය කාරණයක් වූ දේශීය උරුමය පිළිබඳ ආඛ්‍යානය පශ්චාද් යටත් විජිත ශ්‍රි ලංකාවේ අතිශයින් වැදගත් වූ දේශපාලනමය කාරණයක් වි ය. විශේෂයෙන් එක්දහස් නවසිය පනස් හයේ සිදු වූ දේශපාලන වෙනසක් සමඟ දේශීය අදහස් ප්‍රවර්ධනය කිරීම දේශපාලමය වශයෙන් වැදගත් වී ය. මෙහි දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ මෙකී පසුබිම තුළ පැවති රජයට සිංහල බෞද්ධ විරෝධයක් එල්ල වීය. මෙය පැරණි සංස්කෘතික අගයන්, අනන්‍යතාවන් පදනම් කරගත් සමාජය ප්‍රතිෂ්ඨාපනය කිරීමට රජයට එරෙහි අරගලයක් වීය. මේ තත්වය උදාවන්නේ එවක රජයේ දේශපාලන නායකත්වයට ප්‍රජාව අපේක්ෂා කළ දේ ඉටු කරමින් නිදහස අර්ථවත් කිරීමට නොහැකිවීම හේතු කොට ගෙනය.

එක් දහස් නවසිය පනස් හයේ බණ්ඩාරනායක ආගමනය එතෙක් අඛණ්ඩව පැමිණි යටත්විජිත සංස්කාථකය මඟින් අවතකසේරු කළ පශ්චාද් යටත් විජිත අනන්‍යතාව යළි ස්ථාපනය කිරීමේ දැවැන්ත ඓතිහාසික ව්‍යාප්තියක් මෙන්ම සමාජ පරිවර්ථන රැසකට ද හේතු වීය. 1956 මෙම වෙනසක් සමඟ ප්‍රථම නිදහස් ව්‍යාපාරයක් වූ සිංහල බෞද්ධ විඥානය ඉතා ශක්තිමත් ආඛ්‍යානයක් බවට පත් වෙමින් නව සමාජ රටාවකට පදනම සකස් කළේ ය.  සිංහල බෞද්ධ ජන පදනම ජන බලවේගයවක් වූ බැවින් ඔවුනගේ ද්‍රව්‍යාත්මක, සංස්කෘතික මෙන්ම මතවාදාත්මක අවශ්‍යතා ඉටු කිරීමට යොමු විය. මෙම ක්‍රියාදාමයන් හරහා අතීතය සහ වර්තමානය අතර සබඳතාව නිර් මාණය විය. එය අතීත ශ්‍රී විභූතිය වර්තමානය සඳහා ගැළපීමක් විය.

විවෘත අර්ථික ක්‍රමය තුළ උරුමයක් උපයෝගී කර ගනිමින් සංචාරක ව්‍යාපාරය මඟන් සංවර්ධනය ලඟා කර ගත හැකිය යන ආර්ථිකමය සාධාරණීකරණ ද, හඳුන්වා දුනි. මෙම සංචාරක ව්‍යාපාරය තුළින් අතීත ශ්‍රී විභූතියේ නෂ්ටාවශේෂ ප්‍රතිනිර්මාණය හරහා සංවර්ධනයත් මුදුන් පමණුවා ගත හැකි ය යන ජනතාවට පසක් කර දීමට ප්‍රයත්නය දරන ලදී. එම සාධාරණීකරණය හරහා ගෝලීයකරණ ක්‍රියාදාමයේ මෙන් ම නව යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් වන ජගත් උරුම සංකල්පය උරුම සංචාරණය වැනි ක්‍රියාදාමයන් ද ග්‍රාමීය ජන මනසට අභ්‍යන්තරීකරණය සූක්ෂ්මව සිදු කරන ලදී.

දේශීයත්වයට නැඹුරු වූ සංවර්ධන ප්‍රතිපත්ති, සැලසුම් සහ ව්‍යාපෘති 1977න් පසු ඉතා විප්ලවකාරී ආර්ථික වෙනස්කම් සිදු වූ විට දී පවා දැකගත හැකිය. 1977න් පසු රජයන් දේශීයත්වයට සමීප වීම, ඒ අනුව කටයුතු කිරීම, එය සංරක්ෂණයට පෙළඹීම හඳුනා ගත හැකි ය. මෙය හුදෙක්,

  • නිදහස් ආර්ථික ප්‍රතිපත්ති සාධාරණීකරණය
  • දේශපාලන ආධිපත්‍ය තහවුරු කර ගැනීම
  • ධනවාදී අර්ථ ක්‍රමය ග්‍රාමීය ජන විඥානයේ අභ්‍යන්තරීකරණය කිරීම
  • ගෝලීයකරණ නව යටත්විජිතවාදී සංකල්ප ජන විඥානයට සාධාරණීකරණය කිරීම

වැනි දේශපාලන පරමාර්ථ උදෙසා භාවිත කරන ලදී. අතීත ශ්‍රී විභූති යළි ස්මරණය කරමින් වප් මඟුල වැනි කෘෂිකාර්මික උත්සව සැපරීම, සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය හරහා ඓතිහාසික නගර සංරක්ෂණයට සහ ප්‍රතිසංස්කරණයට කටයුතු කිරීම සිදු විය.

සංවර්ධනය සඳහා සංස්කෘතික උරුමයන් විශිෂ්ට අයුරින් සම්බන්ධ කිරීම 1977න් පසු කාලය තුළ දැකගත හැකි ය. සංවර්ධන ප්‍රතිපත්ති ඉතා පැහැදිලිව බටහිර ධනවාදී සංකල්ප මත පදනම් වන විට එම සංවර්ධනයේ අවසන් පරමාර්ථය අතීත ශ්‍රී විභූතිය නැවත උදා කිරීම බව පෙන්වා ඒත්තු ගන්වන ලද්දේ ය.

ඓතිහාසික වශයෙන් තීරණාත්මක ව්‍යුහාත්මක ආර්ථික පරිවර්ථනයක් වූ විවෘත ආර්ථික ප්‍රවේශය ක්‍රියාවට නැඟීමේ දී දේශපාලන නායකත්වයේ බල අධිකාරිය සාධාරණිකරණය කරමින් ඒ හරහා ප්‍රජා මනසට ධනවාදී/අධිරාජ්‍යවාදී සංවර්ධන ප්‍රවේශ අභ්‍යන්තරීකරණය කළ යුතු විය. ඒ අරමුණ සහිතව උපාය මාර් ගිකව සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘතීන්ට නිදසුනක් ලෙස ආගමික ස්ථාන බද්ධ චාරිත්‍රවාරිත්‍ර පෙර සිරිත් පුනර්ජීවනය උදෙසා උරුම ක්ෂේත්‍ර සංරක්ෂණය සහ සංවර්ධනය සංස්කෘතික ත්‍රිකෝණය සහ පූජා නගර සංවර්ධනය හරහා කටයුතු කිරීම පෙන්වා දීමට පුළුවන. එම ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලද්දේ ශ්‍රී ලාංකේය ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායන් සම්බන්ධයෙන් අග්‍රගණය ක්ෂේත්‍රයන් ය. ශ්‍රී ලාංකේය ජන දිවියේ ආගමික සිරිත්විරිත් සහ නෛසර්ගිකව බද්ධ වූ ක්ෂේත්‍රයන් (අනුරාධපුර, පොළන්නරුව, මහනුවර) සංරක්ෂණය සහ සංවර්ධන ජන මනසේ අවධානය ආකර්ෂණය කර ගැනමට සමත් විය. මේ හා බද්ධ වූ සංස්කෘතික දේශපාලනය (Cultural Politics) තුළ දේශපාලන චරිත සහ ආයතන සංස්කෘතික සම්පත් පදනම් කරගනිමින් ක්‍රියාත්මක විය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 ඔහුගේ පළමු පාර්ලිමේන්තු ආමන්ත්‍රණයේ දී ම ධර්මිෂ්ඨ සමාජය ප්‍රකාශයට පත් කළේ ය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ‘ධර්මිෂ්ඨ සමාජය‘ (a righteous society) ප්‍රකාශයට පත් කිරීම ධර්මය පදනම් කරගත් සමාජයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් අතර ඒ සඳහා ආගමික සිරිත්විරිත් වැදගත් වන හෙයින් ආගමික ක්ෂේත්‍ර සංරක්ෂණය කර ඒ සඳහා භෞතික අවකාශයක් රටමැද නිර්මාණය කිරීමක් ලෙස සංස්කෘතික ත්‍රිකෝණය සන්දර්භගත කළ හැකිය. එය ධර්මිෂ්ට සමාජයක් ස්ථාපිත කිරීමේ දීර්ඝ කාලීන ක්‍රියාවලිය අර්ථවත් කිරිමක් ද විය. අතීත රාජ්‍ය පාලන සහ ආගමික මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය හරහා ප්‍රජා සංස්කෘතික සංවේදීත්වය දේශපාලන නායකත්වය වෙත යොමු වීය.

ධර්මිෂ්ඨ සමාජ සංකල්පය හරහා ධර්මය පදනම් කරගත් සිරිත්විරිත්වලින් සමන්විත පිරිසිදු රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කර ගැණුනි. ජනාධිපතිවරයා බුදු දහමේ ආරක්ෂකයා ලෙස ප්‍රකාශ කර ගන්නා ලද අතර ඒ හරහා පැරණි ශ්‍රී ලංකාවේ පාලකයා සහ බුදු දහම අතර වූ සබඳතාව යළි ස්ථාපිත කළේ ය. ජනාධිපතිවරයාගේ ලාංඡනය ධර්ම චක්‍රය වූ අතර පළමු වරට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් ද ස්ථාපිත කළේ ය. එසේ ම බුදු දහමට ව්‍යවස්ථා තුළ නිසි තැන ලබා දෙන ලදී.

අධිරාජ්‍යවාදී නවීකරණ චින්තනය සහ අතීත ශ්‍රී විභූතිය ප්‍රතිනිර්මාණය කිරීම එක්තරා ආකාරයකට බැලූබැල්මට විඝටනාත්මක සේ පෙනුණ ද, එය ශ්‍රී ලාංකේය සන්දර්භය 1977න් පසු දේශීය උරුම සංරක්ෂණය සහ බටහිර උරුම සංරක්ෂණය අතර පවත්නා සීමාවන් යම් ආකාරයකට සම්මිශ්‍රණය, සංස්කෘතික/උරුම සංචාරක ව්‍යාපාරය සහ ජගත් උරුම සංකල්පය හරහා සාධාරණීකරණය කරන ලදී. බටහිර තථ්‍යතා සංකල්පය පදනම් කරගත් ද්‍රව්‍යාත්මක සංරක්ෂණ ප්‍රවේශයත්, දේශීය ජීවමාන උරුම සංරක්ෂණයත් අතර සුසංයෝගයක් සහ තුලනයක් මුදුන් පමුණුවා ගැනීම අරමුණු කර ගනිමින් ව්‍යාපෘති දියත් විය. මෙම ප්‍රවේශය සංස්කෘතික විවේචනයක් සඳහා වන අවකාශය අවම කිරීමට සමත් විය.

සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය හරහා ඓතිහාසික, සංස්කෘතික සම්ප්‍රදායික සිංහලයින්ගේ හදවත බඳු කලාපය (Traditional Heartland) නූතන පෘථූල ව්‍යාපෘතියක් ලෙස සංකල්පගත කළ හැකිය. සංස්කෘතික සම්ප්‍රදාය, දේශපාලන සහ සංවර්ධනය ආදී සංකල්පයන් මෙම ත්‍රිකෝණ සංකල්පය තුළ ගැබ්ව ඇත. ඇතැම්හු මෙය සිංහල බෞද්ධ ජාතිවාදී කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වීමට පෙළඹුණි.

1977න් පසු බිහිවන නව රජයේ අග්‍රාමාත්‍යවරයා, 1982න් පසුව ශ්‍රී ලංකා ජනාධිපති වූ ආර්. ප්‍රේමදාසගේ ජනතාවාදී දර්ශනය මත සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති තුළ දක්නට ලැබුණු සංස්කෘතික දේශපාලනයේ විශේෂ මුහුණුවරක් ගත්තේ ය. ගම ගොඩනැඟීම මඟින් රට ගොඩනැඟීමේ තේමාව තුළ සිට ප්‍රජා සංවර්ධන කටයුතු මෙහෙයවීම සමකාලීන විප්ලවීය, මතවාදාත්මක වෙනසක් උදා කළ අතර ගම්උදා ව්‍යාපාරය තුළින් මෙම දැක්ම මනාව පිළිබිඹු විය (Hennayake 2006:133). මෙම ගම් උදා සංකල්පය තුළ ප්‍රාදේශීය සංස්කෘතික උරුම සංරක්ෂණයට ද ප්‍රමුඛතාවක් හිිමිවීම අපගේ අවධානයට ලක්විය යුතු ය. ගම් උදාව ව්‍යාපෘතිය තුළ ආයෝජනය කළ ව්‍යාපෘති අතර ආගමික සහ සංස්කෘතික වැඩසටහන් ප්‍රමාණ ද සැලකිය යුතු අගයක් ගනී (එම:142). උදා ගම් ව්‍යාපාරය පිළිබඳ ලියැවුණු ගීත රචනා විශ්ලේෂණයක යෙදෙන හෙන්නායක (එම:140) ඒවා මඟින් සාමාන්‍ය ප්‍රජාවට සන්නිවේදනය කිරීමට තැත් කළ පණිවිඩයක් නම් නූතන ධනවාදී සංවර්ධනය තුළ අතීත ශ්‍රී විභූතිය සහ සංස්කෘතික අනන්‍යතාව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව බව කියයි. සෑම ගම් උදා භූමියකම අතීත සිංහල බෞද්ධ අනන්‍යතාව සහ උරුමය සිහිගන්වන ඉදිකිරීම් සඳහා ප්‍රමුඛත්වයක් හිමි විය. ඒ මඟින් අතීත පාලකයින් සහ අතීත උරුමය අතර වූ සබඳතාව නූතන පාලකයින් ද අඛණ්ඩව පවත්වාගෙන යන බව ජන මනසට සූක්ෂ්මව සන්නිවේදනය කරමින් දේශපාලන බලය තහවුරු කර ගැනීම උපක්‍රමයක් විය (එම:145). කර් ට්සර් (kertzer 1988:9-10) සඳහන් කරන පරිදි ගම් උදාව අතීතය සහ වර්තමානය යා කරන ප්‍රතිඵලදායි සංවර්ධන ව්‍යාපෘතියකි. සිංහල බෞද්ධ  සංස්කෘතික අනන්‍යතාව සම්බන්ධයෙන් ගත් කළ එය සංරක්ෂණවාදී වන අතර නූතන සංවර්ධනාත්මක දෘෂ්ටිකෝණයෙන් නිර්මාණාත්මකය. ගම් උදාව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී හමු වු ස්ථාන ආරක්ෂා කිරීම සහ ගම් උදාවට අදාළ ප්‍රදේශයේ උරුමය නඟා සිටුවීමට කටයුතු කිරීම මෙම ව්‍යාපාරයෙන් ඉටුවිය. නිදසුන් ලෙස පෙන්වා දෙන්නේ නම් හිඟුරක්ගොඩ ගම් උදා භූමිය තුළ පොළොන්නරු යුගයට අයත් සෙල්ලිපි සහ ස්මාරක ප්‍රතිසංස්කරණය කිරීම, බුත්තල ගම් උදාව ක්‍රියාත්මක කිරීමේ දී තදාශ්‍රිත මාලිඟාවිල, දඹේගොඩ ආදී ස්ථානවල එතෙක් අතහැර දමන ලද කැඩී බිඳී ගිය දැවැන්ත බුදු පිළිමය සහ අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව සංරක්ෂණය කොට මහජනතාව වෙත ඉදිරිපත් කිරීම, තිස්සමහාරාම ගම් උදාව මඟින් සඳගිරි දා ගැබ සංරක්ෂණය, කඹුරුපිටිය ගම් උදාව මඟින් මාතර කොටුව සහ තදාශ්‍රිත ප්‍රදේශය සංරක්ෂණය කිරීම, මිහින්තලේ ගම් උදාව මඟින් මිහින්තලේ ඉන්දීය සාංචි ස්තූප අනුරුවක් සහ අනුරාධපුරය පූජා නගරයේ සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට පියවර ගැනීම දැක්වීමට පුළුවන (ගුණවර්ධන 2005:164). දේශපාලන නායකත්වයේ අවශ්‍යතාව තේරුම් ගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෘත්තිකයින්ට දශක කීපයක් ඉටුකර ගත නොහැකිව තිබූ උක්ත ක්‍රියාකාරකම් සිය වගකීමක් සේ සලකා ක්‍රියාවට නගනු ලැබීය. ඒ සඳහා අවශ්‍ය සම්පත් දේශපාලන මැදිහත්වීමකින් සපයා ගත නොහැකි විය (Wijesuriya 1993:8). කෙසේ වෙතත් උක්ත ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘතීන්ට පෙර පූර්ව හානි ඇගයුමක් සිදු වූ බව දක්නට නොලැබේ.

කාලය බලයේ සිටී දේශපාලන පක්ෂය ප්‍රතිපත්ති සහ ප්‍රධාන ව්‍යාපෘති
1977- 1994 එක්සත් ජාතික පක්ෂය
  • උරුමය ගෝලීයකරණය, ජගත්  උරුම සංකල්පය හරහා යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන
  • සංචාරක ව්‍යාපාරය හරහා උරුමය වාණිජකරණයට ලක් කිරීම
  • ගම් උදා සංකල්පය වැනි සංවර්ධන ව්‍යාපෘති සමඟ උරුමය බද්ධ කිරීම
  • බෞද්ධ උරුමය ව්‍යවස්ථාපිත සංරක්ෂණයට පියවර ගැනීම
  • පූජා නගර සැලසුම් හරහා උරුම ක්ෂේත්‍ර සංරක්ෂණය සහ සංවර්ධනය
  • ව්‍යවස්ථාපිත ආයතන ස්ථාපිත කිරීම, සංරක්ෂණ මූල්‍යමය අරමුණු කිරීම, ස.අ. ස්ථාපිත කිරීම, දේශපාලන බලය ස්ථාපිත කිරීම උදෙසා ව්‍යාපෘති සැලසුම් කිරීම
1994 එක්සත් ජනතා නිදහස් සන්ධානය
  • සංවර්ධන ව්‍යාපෘතීන්‍ගෙන් උරුමය ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දීම
  • ජාතික උරුමයන් සඳහා අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම
  • ‘උරුම අරුණ’ අරමුදලක් ස්ථාපිත කිරීම

පශ්වාද් යටත්විජිත (Post  Colonial) ශ්‍රී ලංකා සමාජය තුළ සංස්කෘතික උරුමය විවිධ වූ විචල්‍ය සංවර්ධන ප්‍රවේශ එනම් ධනවාදී, සමාජවාදී සහ දේශීය මානයන් සහ දර්ශනයන් තුළ දෝලනය වී ඇති වී ඇති බව හඳුනාගත හැකිය. උක්ත ප්‍රවේශයන්ගේ බලපෑම උරුම සංරක්ෂණ සහ සැලසුම්කරණ සහ ප්‍රතිපත්ති සඳහා සෘජුවම බලපා තිබේ.

සංස්කෘතික උරුමයේ සමාජ දේශපාලනික භාවිතය

සංස්කෘතික උරුමය දැනුම පාදක කරගත් සංස්කෘතික නිර්මාණයක් මෙන් ම දේශපාලන සම්පතකි (Graham et al. 2000). ලොවෙන්තල් (Lowenthal 1985) උරුමයේ සමාජ දේශපාලනික භාවිතය පිළිබඳ කරුණු දක්වන අතර, ග්‍රැහැම් (Graham 1999) අනන්‍යතාව තහවුරු කිරීමේ සාධකයක් ලෙස උරුමයේ කාර්යභාරය විග්‍රහ කරයි. උරුමය තුළින් සන්නිවේදනය කරනු ලබන පණිවිඩය සහ දැනුම විවිධ සමාජ බුද්ධිමය වාතාවරණයන් තුළ විවිධාකාරයෙන් සාධාරණීකරණය කරනු ලැබේ (Livingstone 1992). දේශපාලඥයින් විසින් සංස්කෘතික උරුමය සිය දේශපාලන මතවාදයන්, අරමුණු (උදා: ජාතිවාදී, ජාතිය ගොඩනැඟිම) සාධාරණීකරණය කරනු වස් භාවිත කරනු ලැබේ. මෙම භාවිතය බොහෝ විට සාවද්‍ය භාවිතයක් (misuse) ලෙස ද, විටෙක අතිශයෝක්තියෙන් යුතු අධිභාවිතයන් (over use) ලෙස ද, නොසලකා හරින ඌණ භාවිතයන් (under use) ලෙස ද හඳුනාගත හැකිය.

සංස්කෘතික උරුමයේ සමාජ, දේශපාලනික භාවිතයේ ශ්‍රී ලාංකේය ආකල්පයන්ගේ එදා මෙදාතුර පසුබිම විමසීමේ දී පැහැදිලි වන යථාර්ථයක් නම් එය ඉතා සමීපව රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අවියෝජනීය ලෙස බද්ධ වී පැවති බවය. මේ බව විවිධ සමාජ, ආර්ථික සංවර්ධනාත්මක අවධි තුළින් පිළිබිඹු වේ (Wijesuriya 1993:2-18). උක්ත සබඳතාව දෙදරා යන්නේ යටත්ව්ජිත බලපෑමත් සමඟ ය (Bandaranayake 1975:10; Wijesuriya 1993:7). ඒ අනුව යටත් විජිත පාලනය කළ ප්‍රතිපත්ති සහ ආකල්ප උරුමයේ දේශපාලනික භාවිතය සම්බන්ධ තවත් පැතිකඩකි. වසර සිය ගණනක් සංස්කෘතික උරුමයන් නොසලකා හරින ලද පසුබිමක ඊට විරුද්ධ බලවේගයක් ලෙස ආගමික පුනරුද ව්‍යාපාරයක් (Religious revival movement) පැන නැගුණු අතර එයට පසුව නිදහස සඳහා අරගලයක් බවට පත් විය (Bandaranayake 1975:11). මේ හා ඒකාබද්ධ වූ ක්‍රියාදාමයක් නම් අතීත ආගමික උරුමස්ථාන ස්මාරක ප්‍රතිසංස්කරණ සමාගම් මඟින් ප්‍රතිසංස්කරණයට පෙළඹීමයි. ප්‍රජා උද්යෝගය තුළින් ප්‍රජා සංගත සමාගම් ස්මාරක ප්‍රතිසංස්කරණය වන විට නෛතිකව ඒවා පාලනය කිරීමට ද යටත් විජිත පාලනය ක්‍රියාකර ඇති අයුරු 1940 පුරාවස්තු ආඥාපනත මඟින් පැහැදිලි වේ.

නිදහසින් පසු රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලඥයෝ ප්‍රජා උද්‍යෝගය නිසාම ආගමික ස්මාරක ප්‍රතිසංස්කරණයට යොමු වූහ. මේ යුගයේ ස්තූප ප්‍රතිසංස්කරණ සෘජුව ම දේශපාලඥයින් විසින් මෙහෙයවනු ලැබිණි. රාජ්‍ය යාන්ත්‍රණය රජයේ දෙපාර්මේන්තු හරහා මුදල් ප්‍රතිපාදන සැපයූ අතර බොහෝවිට අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා මූලිකත්වය ගැනීම සිදුවිය. යටත්විජිත පාලනය තුළ ප්‍රතිසංස්කරණ පාලනය සඳහා ස්ථාපිත නෛතික පදනම (Antiquities Ordinance 1940) අවශ්‍ය පරිදි භාවිත කරමින් ජනතා අවශ්‍යතා ඉටුකිරීමට දේශපාලඥයින් ස්මාරක ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මැදිහත් විය. 1971 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හරහා බුදු දහමට සහ සෙසු ආගම් සඳහා හිමි නිශ්චිත ස්ථානය සඳහන් කෙරිණි. මෙය තවදුරටත් 1978 විධායක ජනපති ක්‍රමය මඟින් ශක්තිමත් කෙරිණි.

1977 බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්වුවත් සමඟ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හරහා උරුම සංරක්ෂණයේ ප්‍රවණතා විවිධාකාරයෙන් පරිණාමයට පත්වන ආකාරය දැකගත හැකිය. සංස්කෘතික සම්පත් ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් කර ගැනීම සඳහා දේශපාලනික මැදිහත්වීම උපරිමයෙන් සිදු විය. ජගත් උරුම ප්‍රඥප්ති පිළිගැනීම, ජගත් උරුම ප්‍රකාශයට පත් කිරීම හරහා උරුමය ගෝලීයකරණයට ලක් කරමින් සංචාරක ව්‍යාපාරය තුළින් ආර්ථික සංවර්ධනයට පදනම සැකසිණ. 1977 බලයට පත් එක්සත් ජාකිත පක්ෂය මඟින් ඇරඹූ ‘උදාගම්’ ව්‍යාපාරය යටතේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංස්කෘතික උරුමස්ථාන කඩිනම් ව්‍යාපෘති ලෙස ක්‍රියාවට නැගුණි. නිදසුනක් ලෙස බුත්තල ගම් උදාව ක්‍රියාත්මක කිරීමේදී තදාශ්‍රිත මාලිඟාවිල, දඹේගොඩ, ආදී ස්ථිනවල එතෙක් අතහැර දමන ලද බුදුපිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව සංරක්ෂණය කොට මහජනතාව වෙත ඉදිරිපත් කිරීම, තිස්සමහාරාම ගම් උදාව මඟින් සඳගිරි දාගැබ සංරක්ෂණය, කඹුරුපිටිය ගම් උදාව හරහා මාතර කොටුව හා තදාශ්‍රිත ප්‍රදේශය සංරක්ෂණය කිරීම දේශපාලනික ලෙස ජනප්‍රසාදයට හේතු වූ උරුම සංරක්ෂණ ක්‍රියාදාමයන්ය. 1979 වසරේ මාස 5ක් තුළ සිදු වූ මිරිසවැටි ස්තූප ප්‍රතිසංස්කරණය එහි ප්‍රතිඵලයක් වූ අතර ප්‍රතිසංස්කරණ සමාගමේ සභාපති වූයේ ද එවකට ජනාධිපතිවරයාය. උක්ත කටයුක්ත සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා පාර්ලිමේන්තුව විසින් වෙනත් කටයුතු සඳහා අනුමත කළ ප්‍රතිපාදන මඟින් ලබා ගනිමින් මූල්‍ය අවශ්‍යතාව සපුරාගත් අතර එවකට විපක්ෂ උක්ත මුදල් භාවිතය ප්‍රශ්න කළත් එය ප්‍රබල ආගමික ප්‍රජා අවශ්‍යතාවක් වූ බැවින් ප්‍රබල විරෝධයක් මතු නොවුණි. 1987 වසරේ මිරිසවැටි ස්තූපය හදිසියේ බිඳ වැටුණු පසුව ද නැවත ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සාර්ථකව කළ හැකි වූයේ ද ප්‍රබල දේශපාලන මැදිහත්වීම මත ය.

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය මඟින් ගෙන ආ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත හා ඒ වනවිට පැවති 1946 අංක 49 නගර හා ග්‍රාම නිර්මාණ පනත ආදී පනත් තුළින් පූජා නගර සැලසුම් යෝජනා ක්‍රම ආරම්භ කළ අතර  ඒ තුළින් ආගමික භේදයකින් තොරව සුවිසල් ඓතිහාසික මධ්‍යස්ථාන බැතිමතුන්ගේ වන්දනය හා පූජනීය සඳහා වෙන් වූ ස්ථාන ලෙස රාජ්‍ය හා මහජන ප්‍රතිපාදන තුළින් සංවර්ධනය කිරීම සඳහා තත්කාලීන දේශපාලන තන්ත්‍රය මඟින් පියවර ගන්නා ලදී. අනුරාධපුර, මහනුවර, දඹුල්ල වැනි ජගත් උරුමස්ථාන පූජා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් වී සංවර්ධනය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මේ ප්‍රවේශය හරහා ඓතිහාසික ස්මාරක ආරක්ෂා කිරීම,  ඒ හාත්පස අයථා සංවර්ධනයන් පාලනය කිරීම, වන්දනාකරුවන් සහ සංචාරකයින් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සිදු විය. ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරීපත් වූ ආර්. ප්‍රේමදාස දිවුරුම් දීම සඳහා තෝරාගනු ලැබුවේ ජගත් උරුමස්ථානයක් මෙන්ම බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ බඳු වූ මහනුවර දළදා මන්දිර පත්තිරිප්පුවයි. පත්තිරිප්පුව බ්‍රිතාන්‍ය පාලනයට පෙර ශ්‍රී ලංකාවේ අවසන් රජු විසින් ඉදි කරන ලද ව්‍යුහයකි. මේ හරහා ලබා දුන් සංකේතාත්මක පණිවිඩය ලෙස යටත්විජිත පාලනය තුළ යම් ප්‍රමාණයකට විසන්ධි කළ බෞද්ධ උරුමය හා දේශපාලන තන්ත්‍රය යළි ස්ථාපිත කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. උක්ත ප්‍රවේශය තුළින් ජීවමාන ඓතිහාසික ක්ෂේත්‍ර සංවර්ධනයට දේශපාලන යාන්ත්‍රණයේ මැදිහත්වීම සාර්ථකව ලබා ගත හැකි වූ, එමෙන් ම ලබාගත හැකි බව මනාව ඔප්පු කළ ක්‍රියාදාමයකි. නිදසුනක් ලෙස අනුරාධපුර පූජා ප්‍රදේශ සැලසුම් යෝජනා ක්‍රමය (Anuradhapura sacred area planning scheme) යටතේ අනුරාධපුර වර්ග සැතපුම් 14ක් ආවරණය වන පරිදි සංවර්ධන සැලැස්මක් සැකසුණ අතර ඒ හරහා ඉහළම දේශපාලන අනුග්‍රහය මඟින් සියලු ම පාර්ශ්වකරුවන් එක රාමුවක් යටතට ගෙන නව කළමනාකරණ ව්‍යුහයක් තුළින් පූජනීය නගරය සංරක්ෂණයට කටයුතු ඇරඹිණි (Wijesuriya 1993). 1988 බුද්ධශාසන අමාත්‍යංශය ජනාධිපති යටතේ ම ස්ථාපිත කිරීම තුළින් ස්පර්ශනීය සහ අස්පර්ශනීය බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට මහඟු පිටිවහලක් විය. පසුගිය දශක තුන තුළ වඩාත් ම සාර්ථක උරුම සංරක්ෂණ හා කළමනාකරණ ප්‍රවේශය නම් එවකට රජයේ ප්‍රම්ඛ මැදිහත්වීම මත 1981 හඳුන්වා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් එක්රැස් කිරීමේ හා වැය කිරීමේ බලතල ලබා දුන් අතර රාජ්‍ය බදු මුදලින් නිදහස් කෙරිණි. මෙය නිදහසින් පසු රජයක් විසින් ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණ ක්‍රියාදාමයේ තිරසාරභාවය වෙනුවෙන් සිදු කළ දැවැන්ත ම දූරදර්ශී ක්‍රියාමාර්ගයයි. රජයේ අග්‍රාමාත්‍යවරයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා වීමෙන් හා අමාත්‍යංශ රැසක ඇමතිවරුන් හා ලේකම්වරුන් එහි සාමාජිකයින් වීමෙන් ම ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය පිළිඹිබු වේ.

ජනවාර්ගික යුද්ධය සමඟ එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය තුළින් ශ්‍රී ලාංකේය ආර්ථික, සමාජීය සහ ආගමික උරුමස්ථානයන්ට තර්ජනයට එල්ලවන්නට විය. විශේෂයෙන් අනුරාධපුර ජගත් උරුම භූමියේ ශ්‍රී දළදා මාලිඟාවටත් (1998) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. මෙය සිදු වන්නේ LTTE  සංවිධානය උක්ත ජගත් උරුසම්ථාන අනන්‍යතාව සිංහල බෞද්ධ අනන්‍යතාවක් පමණක් ලෙස වරදවා කියවීමේ ප්‍රතිඵලයක් ලෙස විය හැකිය. එදා මෙදාතුර රටේ පාලකයින් සිංහල බෞද්ධ ප්‍රජාව ජීවිතයේ බොහෝ විශේෂ අවස්ථාවල දී උක්ත ස්ථාන කරා ගොස් පිහිට ප්‍රාර්ථනා කිරීමට පුරුදුව සිටියා පමණක් නොව, උක්ත ආගමික වන්දනයේ බලයෙන් රට ආක්‍රමණ වලින් ආරක්ෂ කරදෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් විය. එහෙයින් එම වස්තු ඉලක්ක කර පහර දීම හා විනාශ කිරීම රටේ පාලකයින්ට හා සිංහල බෞද්ධ ප්‍රජාවට පහර දීමක් සේ එම සංවිධානය සිතන්නට ඇත. එහෙත් උක්ත ස්ථන ජගත් උරුම භූමි තුළ පිහිටි ජගත් උරුමයේ නියෝජනයන් වීම නිසා ම ජගත් අරුම ප්‍රඥප්තියට අනුව සමස්ථ විශ්වීය මානව ප්‍රජාවගේම උරුමයන් ව්නේ ය. LTTE   සංවිධානය ද සමස්ත මානව ප්‍රජාව යන්නෙන් අර්ථවත් වන බැවින් ඔවුන් ද එය සුරැකීමේ පාර්ශ්වකරුවන් විය යුතුව තිබුණි. එහෙත් එම පෘථූල විශ්වීය කියවීමට ඔවුන්ගේ අන්තවාදී දෘෂ්ටිවාදී බාධකයක වන්නට ඇත. ඔවුනට ඒ තුළින් මුදුන් පමුණුවා ගත යුතු අදූරදර්ශී ජයග්‍රහණයක් පවතින්නට ඇත. සුදර්ශන් සෙනෙවිරත්න නිරීක්ෂණය කරන පරිදි උක්ත සංකේත ද්වයම සිංහල-බෞද්ධ අනන්‍යතාව උතුරු ඉන්දීය ආර්ය සබඳතාව නිරූපණය කරන උරුම සංකේත වීම මේ සඳහා හේතු වන්නට ඇත. ජගත් ප්‍රජාව උක්ත ක්‍රියාදාමය හෙළා දුටු අතර, ශ්‍රී ලංකා රජය ද  LTTE සංවිධානයට එරෙහිව ප්‍රචාරණයට මෙම ජගත් උරුම විනාශය ප්‍රබල අවියක් කර ගත්තේ ය. 50 වන නිදහස් සැමරුමට 10කට පෙර විනශ වූ දළදා මැදුර එම  නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තකු වූ චාල්ස් එම මන්දිරය නැවත ප්‍රතිසංස්කරණයට දායක වන ලෙස ජගත් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය. විනශ වූ දළදා මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සාමාන්‍ය ප්‍රජාව, ආගමික ප්‍රජාව මෙන් ම දේශපාලන නායකත්වය ප්‍රමුඛව ක්‍රියා කෙරිණි. හදිසි අවස්ථාවල කටයුතු කරන ප්‍රබලම දේශපාලන නායකත්වය ප්‍රමුඛව ක්‍රියා කෙරිණි. හදිසි අවස්ථාවල කටයුතු කරන ප්‍රබල ම දේශපාලන යාන්ත්‍රණය වන ජනාධිපති කාර්යසාධක බලකාය (presidential Task Force) ජනාධිපතිගේ සහභාගිත්වය යටතේ ක්‍රියාත්මක විය.

ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පළාත් සභා වලට බලය විමධ්‍ය ගත වන අතර විමධ්‍යගත නොවන බලතල පිළීබඳව ද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්මාරක හා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සලකන විට ජාතික ස්මාරක (National Monuments) ලෙස ප්‍රකාශයට පත් කර ඇති ස්මාරක සඳහා පමණක් මැදිහත් වීමට මධ්‍යම රජයට බලතල පවතී. එවකට පැවති 1940 පුරාවස්තු ආඥා පනතට අනුව ජාතික ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපාදන නොවූ හෙයින් තත් පනතට අනුව ස්මාරක සහ ක්ෂේත්‍ර ලෙස ප්‍රකාශයට පත් කර තිබූ සියලු ස්ථාන ජාතික ස්මාරක ලෙස නිරායාසයෙන් ප්‍රකාශයට පත් කෙරෙහි පනතක් අවශ්‍යව තිබූ මොහොතක කෙටි කලක් තුළ පාර්ලිමේන්තුව මඟින් ඒකමතිකව 1989 ජාතික වටිනාකමක් සහිත පුරාවිද්‍යාත්ම ක්‍ෂේත්‍ර පනත (Archaeological sites of national importance Act 1989) හඳන්වා දීමට කටයුතු කෙරිණි. මේ හරහා ජාතික වශයෙන් වැදගත් උරුමස්ථාන මධ්‍යම රජයේ රැකවරණයට නතුකරගත් අතර එය අතීතයේ පටන් පැවති සම්ප්‍රදායක් වන උරුමය, රාජ්‍යය හා පාලකයා අතර සමීප සබඳතාව ස්ථාවරව පවත්යා ගැනීමට කටයුතු කිරීමකි.

නිගමනය

ශ්‍රී ලාංකේය උරුමය සංරක්ෂණය පිළිබඳ සම්ප්‍රදායික යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යයනයෙන් පැහැදිලි වන යථාර්ථයක් නම් නූතන උරුමය ගෝලීයකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති බටහිර සංරක්ෂණ උපායමාර්ගවලට හා සුසමාදර්ශයන්ට විකල්ප වූ සංරක්ෂණ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව සතු බවයි. මෙම යාන්ත්‍රණය තීරණාත්මක ලෙස යටත්විජිත හා පශ්චාද් යටත්විජිත සමයෙහි දී අභියෝගයට ලක් වීම හඳනා ගත හැකි අතර, සන්දර්භයන්ට අනන්‍ය වූ සාධක නොසලකා ඒ මත නූතන ක්‍රමවේද හා සුසමාදර්ශ ආරෝපණය කිරීමට යාම තුළ ක්ෂේත්‍රයන්හී ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව පෙනේ. එබැවින් මෙකී ප්‍රතිඵල වලින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලාංකේය, විශේෂයෙන් ජීවමාන පූජනීය සංස්කෘතික උරුම සංරක්ෂණයේ දී සාම්ප්‍රදායික සංරක්ෂණ ඥානය, න්‍යාය, භාවිතය හා දෘෂ්ටිවාදයෙන් වියුක්ත වීම පිළිබඳ නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බවයි. ශ්‍රී ලාංකේය පූජනීය ජීවමාන උරුමය හා බද්ධ වූ සංකීර්ණ සමාජීය මානයන් අවතක්සේරුව දිගු කාලීනව උරුමයේ තිරසාරභාවය අර්බුදයට හෙළීමකි. සංස්කෘතික උරුමයේ සමාජ, දේශපාලනික භාවිතයේ ශ්‍රී ලාංකේය ආකල්පයන්ගේ එදා මෙදාතුර පසුබිම විමසීමේ දී පැහැදිලිවන යථාර්ථයක් නම් එය සමීපව රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අවියෝජනීය ලෙස බද්ධ වී පැවති බවය.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අනුරාධපුර පූජා ප්‍රදේ‍ශ සැලසුම් යෝජනා ක්‍රමය (2008) නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ.
  • අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම (2020) නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ.
  • කරුණානන්ද, යූ. (1990), නුවර කලාවිය, කැලණිය: ශිලා ප්‍රින්ටර්ස්.
  • කරුණානන්ද, යූ. (2001), බ්‍රිතාන්‍යයන් යටතේ උතුරු මැද පළාත, මරදාන: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • කරුණාරත්න, ඩබ්ලියු.ඇස්. (1990), ‘ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ ඉතිහාසය 1890-1910’, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, (සංස්) එන්. විජේසේකර, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, පිටු 3-6.
  • ගුණවර්ධන, පී. සහ එම්. සල්ඩින්. (2008), සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවත්නා රටවල් සහ සංචාරක නිෂ්පාදනය, ජා ඇල: සමන්ති ප්‍රකාශකයෝ.
  • ගොඩකුඹුර, සී. (1962), 1960–61 මුදල් වර්ෂය සඳහාපුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාව, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • දේවරාජා, එල්.එස්. (1967), උඩරට රාජධානිය, පාදුක්ක: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව.
  • ධම්මානන්ද, එස්. (2010), සංචාරක ව්‍යාපාරය (පසුබිම, බලපෑම හා නව ප්‍රවණතා), දිවුලපිටිය: සරස්වතී ප්‍රතාශකයෝ.
  • පරණවිතාන, එස්. (1963), ලංකාවේ ස්තූපය, බොරලැස්ගමුව: විසිදුනු.
  • මල්සිරි, ඩබ්ලිව්. (2011), ශ්‍රී ලංකාවේ වාස්තුවිද්‍යා උරුම සංරක්ෂණයේ ඓතිහාසික විකාශනය: ක්‍රමවේද, සංකල්ප හා භාවිතය, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • රාජපක්ෂ, ඒ. (2002), නූතන උරුම කළමනාකරණ සංකල්පය සහ අනුරාධපුර ලෝක උරුම නගරයේ උරුම කළමනාකරණ ක්‍රියාදාමය, වැලිපිල පුරාවිද්‍යා සඟරාව (පස්වැනි කලාපය), කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල.
  • රාජපක්ෂ, ඒ. (2013), ‘දළදා උරුමය: අනන්‍යතාව, අර්ථකථනය හා කළමනාකරණය’, (සංස්) එච්. ධීරානන්ද,  සිරි දළදා හරසරණිය, කොළඹ: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. පිටු. 695–717.
  • රාහුල, වල්පොළ (1959), ලක්දිව බුදු සමයේ ඉතිහාසය, කොළඹ: එම්. ඩී. ගුණසේන සහ සමාගම.
  • විමලරත්න, කේ.ඩී.ජී. (1995) බුදුසසුන පිළිබඳ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති, අපේ සංස්කෘතික උරුමය, නුගේගොඩ: දීපානි ප්‍රකාශන. පිටු. 213 – 239.
  • විමලානන්ද, ටී. (1963), උඩරට මහ කැරැල්ල, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.
  • විමලරත්න, කේ.ඩී.ජී. (1993), ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිත්‍යය, කොළඹ: රත්න ප්‍රකාශකයෝ ; 1991, බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ විහාර ඉඩම් පාලනය, දෙහිවල: ස්වර්ණ ලේඛා.
  • විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක්‍රමය (1999), නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ.
  • සිල්වා, ආර්. (1985), 1981 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පළමුවන වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාව: රාජ්‍ය මුද්‍රණ සංස්ථාව.
  • සිල්වා, ඩී.ඒ.සී.එස් සහ ජී. ගුරුගේ. (2011), සංචාරක ප්‍රවර්ධන ප්‍රවේශ, මරදාන: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
  • සෙනෙවිරත්න, ඒ. (2001), සිරි දළදා වරුණ, මරදාන: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
  • සෙනෙවිරත්න, ඒ.(2002), කන්ද උඩරට මහනුවර, කොළඹ: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව.
  • හරිශ්චන්ද්‍ර, ඩබ්ලිව්. (2001), සිතියම් සහිත පුරාවිද්‍යාව, බොරලැස්ගමුව: විසිදුනු.
  • හෙට්ටිආරච්චි, ඇස්.බී. (1990), පුරාවිද්‍යා රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම, එළිපෙහෙළි කිරීම, නඩත්තු කිරීම හා පරිසර සැකසීම 1910 – 1930, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, (සංස්). එන්. විජේසේකර, රජයේ මුදුණ නීතිගත සංස්ථාව. පිටු. 47-78.
  • Antiquities Ordinance of 1940, Sri Lanka.
  • Archaeological survey of Ceylon Annual Report, 1933.
  • Archaeological survey of Ceylon Annual Report, 1940, p. 45.
  • Archaeological survey of Ceylon Annual Report, 1961 / 62, p. 233.
  • Archaeological sites of National importance Act 1989, Sri Lanka.
  • Fernamdo, W.B.M. (1990), ’History of the Department ofArchaeology 1930-1950’, History of  Department of Archaeology, Commemorative Vol. N. Wijesekara (ed.), Colombo, pp. 77-110.
  • Bandaranayake, S. (1975) ‘International Recognition of the problems of Conserving Cultural Monuments and Ancient City Centers’, paper given at the Asian regional Conference of the Commonwealth Association of Architects, Colombo’
  • Berchert, H. (1978) ‘S.W.R.D. Bandaranayake and the legitimation of power in sri lanka’. In : Smith B.L. (ed.) Religion and legitimation of power in Sri lanka. India: Anima Books.
  • Graham B, Ashworth, G.J. and Tunbridge, J. E. (2000), A Geography of Heritage: power, Cultural and Economy. London: Arnold.
  • Hennayake, N. (2006), Culture, Politics and Development in post-Colonial Sri lanka. Lexington Books.
  • Kertzer, D. (1988), Rituals, and Politics and Power, London: Yale university Press.
  • Livingstone, D. N. (1992), The geographical Tradition. Oxford: Blackwell.
  • Lowenthal, D. (1985), The past is a foreign country. Cambridge: Cambridge university Press.
  • Nash, D. (1977) ‘Tourism as a form of imperialism’ Hosts and gueste: in: Smith, V. (ed.) The Anthropology of tourism. Oxford: Blackwell, pp. 33-47.
  • Oertel, F. O. (1903) ‘Report of the Restoration of Ancient Monuments a Anuradhapura, Ceylon’ Colombo: Ceylon government Sessional Papers.
  • Ponnambalam, S. (1980), Dependent Capitalism in Crisis: The Sri Lankan Economy, London Zed press.
  • Robins. K. (1977), Global Times: What in the world’s  going on? In: Du Gay,  p. (ed.) Prodution of culture / cultures of production, 1997, London, Sage.
  • Silva, R. ‘Conservation of ancient monuments under tropical conditions with special reference to ceylon’, Ancient Ceylon, 1969, vol. 3, Colombo, Department of Archaeology, p. 84.
  • Singer, M. (1964), The Emerging Elite: A study of political leadership in Ceylon. Cambridge, MA: MIT press.
  • Turner, L. and Nash, J. (1975), The golden hordes: International Tourism and in the pleasure Periphery. London: Constable: London.
  • Wijesuriya, G. (1993), Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy. Colombo: ICOMOS, Sri lanka
  • Wijesuriya, G. (2005), ‘Past is in the present: Perspectives in caring for Buddhist heritage’ In: Stovel, H., Stanley – price N. and Killick, R. (ed.) Conservation of living religious heritage. ICCROM Conservation Studies3 (ICCROM), Rome.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.02 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

පුරාවිද්‍යාඥයින් පිරිසක් ජනාධිපති සම්මානයට පාත්‍ර වේ

2018 වසර සඳහා අදාළ “විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාණ” උළෙලෙ දී ලංකාවේ ප්‍රමුඛපෙළේ පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු පිරිසක් සම්මාණයට පාත්‍ර වි ඇත. ඒ අනුව, ආචාර්ය එච්. නිමල් පෙරේරා, ඔෂාන් වෙදගේ, ආචාර්ය සිරාන් දැරණියගල, ජූඩ් පෙරේරා හා සමන් ඇරෑගම යන පුරාවිද්‍යාඥයින් මෙලෙස සම්මාණයට පාත්‍ර වී ඇත.  ඔවුන් විසින් පසුගිය වසරේ දී ලෝකයේ ප්‍රමුඛ පෙළේ සඟරාවක් වූ  Journal of Human Evolution 2017 හි පළ කරන ලද Fruits of the forest: Human stable isotope ecology and rain forest adaptations in Late Pleistocene and Holocene (∼36 to 3 ka) Sri Lanka ලිපිය සඳහා මෙම සම්මාණයට පාත්‍ර වී ඇත. මෙම පර්යේෂණාත්මක ලිපිය සඳහා Patrick Roberts, Nimal Perera, Oshan Wedage, Siran Deraniyagala, Jude Perera, Saman Eregama, Michael D. Petraglia, Julia A. Lee-Thorp යන විද්වතුන් තම දායකත්වය සපයා ඇත.

මෙම සියලූම විද්වතුන්ට ARCHAEOLOGY.LK වෙබ් සමූහයේ ගෞරවයත් සුභාශිංෂණයත් පළ කෙරේ.

Ref. Patrick Roberts, Nimal Perera, Oshan Wedage, Siran Deraniyagala, Jude Perera, Saman Eregama, Michael D. Petraglia, Julia A. Lee-Thorp, Fruits of the forest: Human stable isotope ecology and rain forest adaptations in Late Pleistocene and Holocene (∼36 to 3 ka) Sri Lanka, Journal of Human Evolution 2017, 106: 102-118

ඡායාරූප : සමන් ඇරෑගම මහතාගේ මුහුණු පොතිනි.

වමේ සිට : සමන් ඇරෑගම මහතා, ජුඩ් පෙරේරා මහතා, ඔෂාන් වෙදගේ මහතා හා ආචාර්ය එච්. නිමල් පෙරේරා මහතා
සමන් ඇරෑගම මහතා (වම් පස), ආචාර්ය එච්. නිමල් පෙරේරා මහතා (මැද) හා ඔෂාන් වෙදගේ මහතා (දකුණු පස)

 

පොළොන්නරුව, ගල් විහාරයේ ප‍්‍රතිමා

ඉසුරු හේරත්

එච්.එම්. ඉසුරු හේරත්

ලංකා ඉතිහාසයේ පොලොන්නරුව යුගය (කි‍්‍ර.ව. 1070-1205) වැදගත් කාල පරිච්ඡේදයක් වශයෙන් සැලකේ. මක්නිසා ද යත් අඩසිය වසකට අධික කාලයක් චෝළ අධිරාජ්‍යවාදීන්ගේ (කි‍්‍ර.ව. 1029-1170) ග‍්‍රහණයේ පැවැති මෙරට පළමු වැනි විජයබාහු නරේන්‍ද්‍රයන්ගේ (කි‍්‍ර.ව. 1070-1110) නොසැලෙන අධිෂ්ඨානයත්, රණකාමි කෞෂල්‍යයත් හේතු කොටගෙන දේශපාලනික, සංස්කෘතික, ආර්ථික සහ සමාජයීය වශයෙන් පුනර්ජීවනය ලැබූ හෙයිනි. විශේෂයෙන්ම විජයබාවන් හා ඔහුගේ කීර්තිමත් අනුප‍්‍රාප්තිකයන් වන මහා පරාක‍්‍රමබාහු (කි‍්‍ර.ව. 1153-1186), කීර්ති ශී‍්‍ර නිශ්ශංකමල්ල (කි.ව. 1187-1196) යන පාලකවරුන් විසින් මධ්‍ය කාලීන ලංකාවේ සිංහල බෞද්ධ කලාශිල්පවලට සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනයට කරන ලද නොමසුරු දායකත්වය පොලොන්නරුව පැරණි නගරය සහ ඒ අවට ඇති ස්ථූප, ප‍්‍රතිමා ගෙවල්, පිරිත් මණ්ඩප, දළදා මාලිඟා, වට දා ගෙවල්, උපොසථාගාර, භික්‍ෂු රෝහල් වැනි බෞද්ධ ස්මාරක තුළින් ද රජ මාලිඟා, රාජ සභා මණ්ඩප, නගර ප‍්‍රාකාර, පොකුණු වැනි ලෞකික ස්මාරකවලින් හා ඒ තුළ අන්තර්ගත බිතුසිතුවම්, කැටයම් හා මූර්ති කලාංගයන්ගෙන් මනාව විශද වේ. නමුත් මෙම ති‍්‍රවිධ රජදරුවන් අතරින් උක්ත සංස්කෘතිකාංගයන්වල අභිවර්ධනය කෙරෙහි මහත් අනුග‍්‍රහයක් සපයන ලද්දේ මහා පැරකුම්බාවන් විසින් බව පැවසීම තර්කානුකූලය. ප‍්‍රධාන වශයෙන් එතුමා තුන් නිකායම සමගි කරමින් භික්‍ෂුන්ට භෞතිකමය විෂයෙහි ආධාර සපයමින් කළ ආගමික ප‍්‍රතිපත්තියත්, අභ්‍යන්තර කැරලි හා බාහිර බලවේග මැඩලමින් රටේ නීතිය ආරක්‍ෂාව මනාව පවත්වාගනිමින් මෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමට කි‍්‍රයාශීලීව සම්බන්ධ වෙමින් දිවයින සමෘද්ධිමත් කළේය. මේ නිසා කලාකරුවන්ට, ශිල්පීන්ට, නිර්මාණශීලි කි‍්‍රයාකාරකම් හි යෙදීම සඳහා අවැසි රාජ්‍යානුග‍්‍රහයන් විවේක බුද්ධියත් හා යහපත් සමාජයීය වටපිටාවක් ඇතිවිය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත ‘උත්තරාරාමය‘ යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන ‘ගල් විහාරය’ යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.

“එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක‍්‍රමබාහු) මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්වා විද්‍යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක් ද හොත් පිළිම ගුහායෙක් දැයි මෙසේ පිළිම ලෙන් තුනක් දක්ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය”

යනුවෙන් දැක්වෙන සඳහන පෙන්වා දිය හැකිය (ම.ව. 1996:157).

මහාවංශයේ පමණක් නොව නිකාය සංග‍්‍රහය, රාජරත්නාකරය, පූජාවලිය වැනි පශ්චාත්කාලීන ලිඛිත මුලාශ‍්‍රයවල ද මෙය අවධාරණය කොට ඇත. නමුත් අඩි 80ක් දිග හා අඩි 30ක් පළල වූත් විශාල ශෛලමය පර්වතයක් පදනම් කොට ගෙන නිමවා ඇති මෙම සිද්ධස්ථානය කි‍්‍රස්තු වර්ෂ 1820 ලෙෆ්ටිනන්ට් ෆෝගන් නමැති ඉංගී‍්‍රසි ජාතිකයා විසින් මුල්වරට නූතන ලෝකයාට හඳුන්වා දෙන ලදී (වික‍්‍රමගමගේ 1998:4). පොලොන්නරුව යුගයේ මූර්ති කලා ශිල්පීන්ගේ දක්‍ෂතාව පෙන්වන කැඩපතක් බඳු ගල් විහාරයේ ප‍්‍රධාන වශයෙන් විශාල කළුගල් කුලකින් නිර්මිත බුද්ධ ප‍්‍රතිමා සතරක් ඇතුළත්ව ඇත. එනම් ප‍්‍රස්තුත සිද්ධස්ථානයට පැමිණි විට ප‍්‍රථමයෙන් ම ඇස ගැටෙන බුද්ධ ප‍්‍රතිමාව, හිටි පිළිමය, පර්වතය කැන සකසන ලද පිළිම ගෙයක් තුළ ඇති කුඩා හිඳි බුදු පිළිමය, විහාර ගෙයක් පදනම් කරගෙන නිම වන්නට ඇතැයි සිතිය හැකි විශාල එළිමහන් හිඳි බුදු පිළිමය යනාදී මේවාය. වර්තමානයේ මෙම ප‍්‍රතිමා හා ඒ හා සබැඳි බෞද්ධ කලා ලක්‍ෂණ පිළිබඳව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මහැඳුරු සෙනරත් පරණවිතාන, ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර, මහැදුරු චන්‍ද්‍රා වික‍්‍රමගමගේ, ආචාර්ය ඩී.ටී. දේවින්‍ද්‍ර, මහැඳුරු ලීලානන්ද පේ‍්‍රමතිලක, එච්.සී.බී. බෙල්, මහැඳුරු ආරිය ලගමුව, මහැදුරු අනුරාධ සෙනෙවිරත්න, මහැදුරු තිරාණගම රත්නසාර ස්ථවිර, මහැඳුරු බෙල්ලන්විල විමලරතන හිමි, බෙන්ජමින් රෝලන්ඞ්, මහැඳුරු එච්.ටී. බස්නායක, මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිර, මහැඳුරු මාලිංග අමරසිංහ, ඇස්.ඒ වික‍්‍රමසිංහ ඇතුළු දෙස්විදෙස් විද්වතුන් රාශියක් විසින් අදහස් දක්වා ඇත.

චතුර් බුද්ධ ප‍්‍රතිමාවන්ගෙන් ප‍්‍රථමයෙන් ම සැතපෙන බුදු පිළිමය පිළිබඳ විමසීමේ දී පුරාණයේ නිපන්න පට්මා යන නමින් හඳුන්වා යන නමින් හඳුන්වා ඇති මෙය වෙනම පිළිම ගෙයක් තුළ ස්ථාපනය කර තිබූ බව පෙනේ. මෙහි ශිර්ෂයේ සිට ශී‍්‍ර පතුල තෙක් අඩි 46ක් (මීටර් 14ක්) පමණ දිගය (අමරසිංහ 1998:75). ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය සෙනරත් දිසානායක වැනි විද්වතුන්ගේ මතය වන්නේ මෙය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබිඹු කරන මහා පරිනිර්වාණ මුද්‍රාව සහිත සැතපෙන පිළිමයක් වන බවයි. එහෙත් මීට විපක්‍ෂව කරුණු දක්වා ඇති මහැඳුරු සෙනරත් පරණවිතාණ, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහැදුරු තිරාණගම රතනසාර හිමි ඇතුළු උගතුන් රැසකගේ මතය වන්නේ මෙය බුදුරදුන්ගේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයක් ප‍්‍රකාශ කරන සයන මුද්‍රාව සහිත සැතපෙන පිළිමයක් වන බවයි (රතනසාර 1985:15). විශේෂයෙන්ම කුසිනාරා වැනි සෙසු ආසියාතික රටවල මහා පරිනිර්වාණ ලක්‍ෂණ සහිත සැතපෙන ප‍්‍රතිමාවල අන්තර්ගත ජීවය නිරුද්ධ ලක්‍ෂණ මෙහි නොමැති බව ඔවුන්ගේ අදහසය. මෙම ප‍්‍රතිමාවේ අනෙකුත් කලාංගයන් පිළිබඳව විමසන විට වම් බාහුව සහ වම් පාදය ස්ථුල ලෙස නිරූපණය කර ඇති අතර දකුණු බාහුව හා දකුණු පාදය කුඩාවට නෙළා ඇත. ශී‍්‍ර පතුල්වල පද්ම සංකේතය කැටයම් කර ඇත (අමරසිංහ 1998:75). එමෙන්ම බුදුරදුන්ගේ හිසේ බරට කොට්ටය එබී ඇති ආකාරයට නිර්මිතය. ඉහත කී සිලින්ඩරාකාර කොට්ටය කෙතරම් තාත්වික ද කිවහොත් එය තම දෑසට පුළුන්වලින් පිරවූවක් සේ දිස්වන බව ආචාර්ය ගොඩකුඹුර පවසා ඇත (ලගමුව 1999: 150). සිවුරේ රැළි ඉහළ සිට පහළට වන්නට සයනයට තෙරපී ගිය ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. මේ නිසා පිළිමයේ වැතිර සිටින ඉරියව්ව මැනවින් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමෙහි ලා පොලොන්නරු මූර්ති ශිල්පියා සාර්ථක වී ඇති බව පැවසීම සාධාරණය.

මීට වම් පසින් ති‍්‍රභංග ඉරියව්වකින් යුත් අඩි 22යි අඟල් 9ක් උසැති හිටි පිළිමයකි. විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව මහාවංශයෙහි අන්තර්ගත විස්තරවල මෙම ප‍්‍රතිමාව ගැන වචනයකුදු සඳහන් කර නැත.

එබැවින් මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත් කාලීන කෘතියක් විය හැකි බවයි. මෙමඟින් පිළිබිඹු වන්නේ බුදුරදුන් හෝ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් විය හැකි බවට විවාදයක් කලක් මෙරට උගතුන් අතර පැවතින. ප‍්‍රදේශයේ ප‍්‍රචලිතව තිබෙන ඇතැම් ජනකතාවල සඳහන් වන ආකාරයට මෙය ආනන්ද හිමියන්ගේ ප‍්‍රතිමාවකි. ආචාර්ය ඩී.ටී. දේවේන්ද්‍ර, එස්.එම්. බාරෝස්, ඒ.ඩී.ටී.ඊ. පෙරේරා යන විද්වතුන්ගේ මතය වූයේ ද එයයි. (දේවේන්ද්‍ර 2007:58). නමුත් පරණවිතාන, පේ‍්‍රමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප‍්‍රමුඛ විද්වතුන් රැසකගේ නිගමනය වූයේ නිසැකවම මෙය බුදු හිමියන්ගේ ප‍්‍රතිමාවක් විය හැකි බවයි. මෙහි දෙ අත් පපුවට තබා වැඳ ඇති ආකාරයක් පෙන්නුම් කරන දුර්ලභ මුද්‍රාවක් අන්තර්ගතය. එය බුදුරදුන් මහා කරුණාවෙන් ලොව දෙස නිරීක්‍ෂණය කරන ආකාරය සිහිපත් කරවන පරදුක්ඛ දුක්ඛන මුද්‍රාව බව උගතුන්ගේ අදහසයි (ලගමුව 1999:149). කි‍්‍රස්තු වර්ෂ 1955 දී සෙනරත් පරණවිතානයන් කළ දේශනයකට අනුව පරදුක්ඛ දුක්ඛන මුද්‍රාව සහිත පිළිම නෙළීම ලංකාවට ආවේණික කලා සම්ප‍්‍රදායකි. නිදසුන් ලෙස රුහුණේ යටාල චෛත්‍ය ආශි‍්‍රතව කළ කැනීමකින් පුරාවිද්‍යාඥයන්ට උක්ත සම්ප‍්‍රදායට අයත් බුදු පිළිමයක් හමු වී ඇත. මීට අමතරව දඹුලු විහාරය, යාපහුව ලෙන් විහාරය යනාදී වෙනත් සිද්ධස්ථාන කීපයකින් ද මෙවැනි ප‍්‍රතිමා දක්නට ඇත. එහෙත් මෙය ලක්දිවට පමණක් අනන්‍ය වූ සම්ප‍්‍රදායක් නොවන බව කිව යුතුය. තායිලන්තය (සියම) ලාඕසය, කාම්බෝජය වැනි අග්නිදිග ආසියාතික බෞද්ධ රටවලින් ද පරදුක්ඛ ප‍්‍රතිමා හමුවේ. තමන් අත් බැඳගත් ලෝහ බුදුපිළිම කීපයක් තායි ජාතික කෞතුකාගාරයේ දී දුටු බවට රතනසාර හිමියන් ද ප‍්‍රකාශ කරයි (රතනසාර 1985:75). ඇස්.ඒ. වික‍්‍රමසිංහයන් පවසන්නේ යමක ශාලා මූල ආසය පනවන තෙක් උදරයේ වේදනාවකින් පෙළෙන ආකාරයක් දැක්වෙන බුද්ධ ප‍්‍රතිමාවක් කුසිනාරාවේ තිබෙන බවත්, එහි මුහුණෙහි ප‍්‍රකාශිත දුක්බර ස්වරූපයට සමාන ස්වරූපයක් ගල් විහාරයේ ඍජු පිළිමයේ දක්නට ලැබෙන බවත්, එබැවින් මෙය පරිනිර්වාණයට පෙර බුදුරදුන් වැටින අවස්ථාවක් නිරූපණය කරන බවයි. තවත් උගතෙකුගේ මතයක් වන්නේ සත්සතිය සමයේ දෙ වන දින බුදුරදුන් ශී‍්‍ර මහා බෝධියට කළ අනිමිස ලෝචන පූජාව මෙහි ප‍්‍රකාශිත බවය (ලගමුව 1999:149). මෙම නිගමනය කෙරෙහි ප‍්‍රස්තුත වන්නට ඇත්තේ විහාර භූමිය ඉදිරිපස පිහිටි ඉපැරණි බෝධිඝරයක් දක්නට ලැබීම බව කිව හැක.

සමහරකු උපකල්පනය කරන ආකාරයට මෙහි වැඩ සිටින්නේ ආනන්ද හිමියෝ නම් එතුමා බුද්ධ ශිර්ෂයට ඉදිරිපසින් පද්මාසනයක් මත වැඩ සිටීම අනුචිත වන අතර ආසියාවේ බොහෝ බෞද්ධ රටවල බුද්ධ චරිතය හා සබැඳි මුර්ති, කැටයම් බිතුසිතුවම්වල ආනන්ද තෙරුන් සම්බුද්ධ ශී‍්‍ර පතුල අසල ශෝකානුකූලව වැඩ සිටිනවා මිස බුද්ධ ශීර්ෂයට ඉදිරියෙන් පද්මාසනයක් මත ඍජු ඉරියව්වකින් වැඩ සිටින අවස්ථාවන් කිසි විටෙක නිරූපණය කර නොමැත (රතනසාර 1985:75). අනෙක නෙළුම් මලෙන් අලංකෘත කවාකාර ශිලා වේදිකාවක් හෙවත් පද්මාසනය ථෙරවාදී හෝ මහායාන ප‍්‍රතිමා කලා රීතීන්ට අනුව යොදාගන්නේ බුද්ධ ප‍්‍රතිමාවට මිස සංඝ ප‍්‍රතිමාවලට නොවේ (වික‍්‍රමගමගේ 1998:33). තවද මෙහි කන් පෙති බුදුරදුන්ගේ ඥානවන්ත භාවය පිළිබිඹු කරන ලෙසට දිගටිය දක්වා ඇති ශිර්ෂයේ හිසකෙස් දිවයිනේ අනෙකුත් පැරැණි ප‍්‍රතිමාවල මෙන් වක ගැසුණු ආකාරයට නෙළා ඇත. උක්ත නිදසුන්වලට අනුව මෙය පැහැදිලිවම හිටි බුද්ධ ප‍්‍රතිමාවක් බව නිගමනය කළ හැකි ය. මුහුණෙහි හැඟීම් තාත්විකව නිරූපණය කිරීමේ දී මධ්‍ය කාලීන මූර්ති ශිල්පියා දැක්වූ සංයමය, ප‍්‍රවීනත්වය මොනවට පිළිබිඹු කරන මෙම පිළිමයේ මුහුණ දෙස වරක් බැලූ විට ශෝකී විලාසයක් දිස් වුව ද, වඩාත් ගැඹුරින් පරීක්‍ෂා කළ විට මානසික ඒකාග‍්‍රතාවෙන් යුතුව ගැඹුරින් කල්පනාවක නිමග්නව සිටින ආකාරයක් පෙන්නුම් කරන බව කිව හැකිය. මීට අමතරව සම්පූර්ණ ප‍්‍රතිමාවම ප‍්‍රාමාණික සමතුලිත භාවය මනාව ආරක්‍ෂා කරමින් නිමවා ඇත. එසේම මෙහි බුද්ධ චීවරය, සිරුරට ඇලී යන පරිදි නෙළා ඇත. පොලොන්නරු යුගයේ අවසාන කාල පරිච්ෙඡ්දයේ හෝ දඹදෙණි යුගයේ මුල් භාගයේ දී මෙය ඉදි කරන්නට ඇති බව පෙනේ.

මහාවංසයේ නිසින්න පටිමා නමින් හඳුන්වා ඇති අඩි 15ක් පමණ හිඳි බුද්ධ ප‍්‍රතිමාව තොරණක් සහිතව විහාර ගෘහයක් පදනම් කොට නිර්මාණය කර ඇත. විද්‍යාධර ගුහාවට බටහිරින් නෙළා ඇති මෙම ප‍්‍රතිමාව වීරාසන ඉරියව්වකින් යුක්ත වන අතර ධ්‍යානි මුද්‍රාව නිරූපිතය. ඒකාංශ පාරූපණයෙන් යුත් සිවුර මටසිළිටිව පරීක්‍ෂේපිතය. මෙහි දෑත් සහ පාද තාත්විකව කැටයම් කර තිබෙන බවත් ඍජු ශරීරය හා එරමිණිය ගොතාගෙන සිටින ආකාරය නිසා මෙහි කඩවසම් බාවයක් දිස් වන බව මාලිංග අමරසිංහ පවසයි (අමරසිංහ 1998:75). මෙහි ඇති විශේෂත්වය නම් දිවයිනේ කිසිදු හිඳි බුදු පිළිමයක දක්නට නොලැබෙන ආකාරයට බුදුරදුන් වැඩ සිටින ආසනයේ පසුපස ඇන්ද නිරූපණය කර තිබීමයි. එය පිළිමය වටා ගලේ අල්පොන්නතම ආරුක්කුවක හැඩය ගත් තොරණ සැරසිල්ලක් ලෙස සකසා ඇත. මෙම දුර්ලභ තොරණේ ගරාදි කෙළවර, මුඛයෙන් සිංහ රූප දරා සිටින මකර රූ කැටයම් අන්තර්ගතය (ලගමුව 1999:145). තොරණේ හිඳි පිළිමයට පහළින් නිර්මිත වියන් සැරසිල්ලෙහි විමාණ චතුර්වයක බුද්ධ රූප සියුම්ව කැටයම් කර ඇත. වැඩහුන් ප‍්‍රතිමාව අවට ක්‍ෂද්‍ර ප‍්‍රතිමා ගල් විහාරයේ පමණක් නොව තන්තිරිමලේ හිඳි පිළිමය අවටින් ද දක්නට ලැබෙන බව කිව යුතුය. පිළිමය පද්මාසනයක් මත වැඩ සිටින අතර එයට පහළින් පිහිටි මනස්කාන්ත සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්තර කැටයමින් අලංකාරවත් කර ඇති බව පෙනේ.

මීළඟට වංශ කථාවල විජ්ජාධර නැතහොත් විද්‍යාධර නම් කළුගල් පර්වතයක් ඇතුළට හාරා ජන්තාවරණය සහ කුළුණු දෙකක් සහිත ගුහාවක් තුළ වැඩ හිඳි පිළිමය පිළිබඳව විමසීම වැදගත් වේ. උස අඩි 4යි අඟල් 4ක් වන මෙම පිළිමය ද වීරාසන ඉරියව්වකින් සහ ධ්‍යාන මුද්‍රාවකින් යුක්තය. පද්මාසනයක සහිත ශෛලමය ආසනයේ කුඩා ස්ථම්භ අතර සිංහ හා වජ‍්‍ර කැටයම් අන්තර්ගතය. බුද්ධ ශිර්ෂයට ඉහළින් සිත් ගන්නා සුළු ඡත‍්‍රයකි. හිඳි පිළිමයට පිටුපස පිහිටි තොරණෙහි හා ඒ දෙපස සිංහ, දොරටුපාල, දේවා හා බ‍්‍රහ්ම රූපවලින් පරික්‍ෂිප්තය. මීට අමතරව පිළිමය දෙ පස බුදුරදුන් පවන් සලන ඉරියව්වක් ගත් චාමරධාරී රූප ද්විත්වයකි. පොදුවේ ඉහත කී කැටයම් මඟින් බුදුරජාණන් වහන්සේගේ දශබලධාරීත්වය මූර්තිමත් වන අතර එතුමන් ශාක්‍යසිංහ බව බැතිමතාට පෙන්වාදීම සඳහා සිංහ කැටයම් නෙළා ඇති බව රතනසාර හිමියන්ගේ අදහසයි (රතනසාර 1985:75). තවද මෙහි ද සිවුර ඒකාංශ පාරූපණයෙන් නිරූපිතය. අතීතයේ මෙම තොරණේ වර්ණ ආලේප කර තිබූ බවත් ප‍්‍රතිමාගෘහය ද ෆ්‍රෙස්කෝ ක‍්‍රමයට අනුව බදාම හා බිතුසිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වී ඇත. මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප‍්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බව මහැඳුරු චන්‍ද්‍රා වික‍්‍රමගමගේ සූරීන් පවසයි. ඒ වගේම මෙහි සිත්තම් කර ඇති මහල්ලෙකුගේ රූපයෙන් ශක‍්‍ර දේවේන්ද්‍රයා නිරූපිත බවත් හෙතෙම තරුණ දෙවිවරු පිරිවරා සිටින ආකාරයක් දිස්වන බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි. නමුත් මීට විපක්‍ෂව කරුණු දක්වා ඇති මහැදුරු ලගමුවගේ මතයට අනුව මෙම චිත‍්‍රයෙන් මහා බ‍්‍රහ්මයා නිරූපිතය (ලගමුව 1999:147). මහියංගන විහාර ගර්භයේ තිබී මෙවැනි මහල්ලෙකුගේ බිතුසිතුවමක් හමුවීම ද විශේෂ කරුණක් බව කිව යුතුය. ඒ වගේම දකුණු ආර්කෝට්හි පානමලයහි පල්ලව චිත‍්‍ර වලට ද මේවා සමානය. ක්‍රිස්තු වර්ෂ 12 සියවසේ දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙම චිත‍්‍ර සම්බන්ධව ක්‍රිස්තු වර්ෂ 1907 විශේෂ ප‍්‍රකාශයක් කළ එච්.සී.පී. බෙල් පැවසුවේ විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙන් චිත‍්‍රවලට වඩා අග‍්‍රගන්‍ය වන බවයි (ලගමුව 1999:147).

හිටි පිළිමයට ඊසාන දිගින් නැතහොත් සැතපෙන පිළිමයට පිටුපස ශෛලමය කුළුණු කිහිපයක් සහිත හිස් අවකාශමය ගල් ගුහාවක් හමුවෙයි. බැලූබැල්මට මෙහි ද කිසියම් ආගමික කලා කෘතියක් තිබෙන්නට ඇති බව විචාරකයන්ගේ අදහසයි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ එකල මෙහි බුදු හිමියන්ගේ ප‍්‍රදක්‍ෂිනා පිළිමයක් පවතින්නට ඇති බවත්, ඒ සමස්ත විහාරස්ථානයෙහි බුදුරදුන්ගේ චතුර් ඉරියව්වෙන් යුත් ප‍්‍රතිමා තැන්පත් කර තිබු බවට අනුමාන කළ හැකි බවයි. මෙම පිළිමවල අන්තර්ගත සෙසු කලා ලක්‍ෂණ පිළිබඳව සාකච්ඡා කරන විට ඒවායේ සිවුරේ රැළි සියුම්ව සමාන්තරව විහිදෙන ආකාරයට නිමවා තිබෙන අතර, විශාල හිඳි පිළිමයේ චීවරය රැළි ද්විත්වාකාරව නිමවා ඇත. සාහිත්‍ය මුලාශ‍්‍රවලට අනුව පැරකුම්බාවන් විසින් මෙම බුද්ධ ප‍්‍රතිමා සියල්ලෙහිම රන් ආලේප කොට තිබිණි. මහැදුරු සෙනරත් පරණවිතානයන් විසින් මධ්‍ය කාලීන අවධියට අයත් අනුරපුර ප‍්‍රතිමා පිළිබඳව ඉදිරිපත් කර ඇති තුලනාත්මක විග‍්‍රහයක් මෙහි දී උපුටා දැක්වීම වඩාත් උචිතය. එය පහත දැක්වේ.

“ඉඳුරන් දිනා ගැනීමෙන් අත්පත් කර ගන්නා ලද ලෝකෝත්තර සමාධියත්, එයින් ඇතිවන ලොව්තුරා බලයත්, ආත්ම සංඥාව මුලිනුපුටා ලීමේ ප‍්‍රතිඵලය වන සිව් සතුන් වෙත පතළ මහ මෙත්ත ශිල්පියා විසින් ඉතා දක්‍ෂ ලෙස පිළිබිඹු කොට තිබේ. අනුරාධපුරයේ පිට රවුම් පාරේ පිහිටි අනුපම සමාධි ප‍්‍රතිමාව හා සසඳා බලන විට, ආධ්‍යාත්මික ගුණය පළ කිරීම අතින් ඊට පහත් තැනක් ගන්නා නමුත්, මෙම බුදු පිළිම අතීත ලංකාවේ ප‍්‍රතිමා ශිල්පීන් විසින් නිමවන ලද ශ්‍රේෂ්ඨතම කෘති අතර ලා සැලකීමට සුදුසුය” (පරණවිතාන 1976:251).

පරණවිතාණයන්ගේ ඉහත කී විවරණයට අනුව පෙනී යන්නේ සමාධි පිළිමය, අවුකන පිළිමය, මහඉලුප්පල්ලම පිළිමය වැනි පුරාතන අනුරාධපුර යුගයේ අග‍්‍රගන්‍ය බුදුපිළිම හා සම කළ නොහැකි වුව ද මේවා පොළොන්නරුව යුගයේ ගොඩනංවන ලද විශිෂ්ඨතම ප‍්‍රතිමා වශයෙන් සැලකිය හැකි බවයි. එහෙත් රජ නියමයෙන් මේවා මූර්තිමත් කරන ලද්දේ කවර ශිල්පියකු විසින් ද යන ප‍්‍රශ්නය ඉතිරිව ඇත. එහෙත් තන්තිරිමලය ප‍්‍රදේශයේ ප‍්‍රචලිත ජනප‍්‍රවාදයකට අනුව ඉහත කී පුරාස්ථානයෙහි වර්තමානයේ දක්නට ලැබෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා නෙලූ ශිල්පියා විසින්ම පශ්චාත් කාලයේ ගල් විහාරයේ බුද්ධ ප‍්‍රතිමා සතර නිමවා ඇත. මෙම පුරාවෘත්තයේ කිසියම් සත්‍යයක් තිබෙන බවට ඒත්තු ගැන්වීම සඳහා සමහර උගතුන් තන්තිරිමලය සහ ගල් විහාරයේ ප‍්‍රතිමා අතර සමානතා රාශියක් පෙන්වා දෙති. මෙම සමානතා වලින් වැඩි ප‍්‍රමාණයක් හඳුනාගත හැක්කේ ද පුරාස්ථානවල පිහිටි හිඳි පිළිම වහන්සේලා නිරීක්‍ෂණය කිරීමෙන් පමණි. නිදසුන් ලෙස තන්තිරිමලේ හිඳි පිළිමයේ දෙ පස චාමරධාරී මිනිස් රූප දෙකක් මූර්තිමත් කර ඇති ආකාරයටම ගල් විහාර විජ්ජාධාර ගුහාවේ හිඳි පිළිමයේ දෙපස චාමරධාරීන්ගේ රූප ද්විත්වයක් නිරූපිතය. මෙම ප‍්‍රතිමා පිටුපස දර්ශනීය මකර තොරණක් නෙළා ඇති අතර එහි දෙ පස හා ප‍්‍රතිමාසනයේ පහළ සිංහ රූප මනාව කැටයම් කර තිබේ. මීට අමතරව උක්ත ප‍්‍රතිමා පිහිටි ලෙන අවට කුඩා විමාන තුළ සියුම්ව නෙළන ලද ධ්‍යාන බුද්ධ රූපවලින් පරීක්‍ෂේපිතය. කෙසේ හෝ වේවා ක්‍රිස්තු වර්ෂ 7-9 අතර කාල පරිච්ෙඡ්දය තුළ තන්තිරිමලය බුදු පිළිම නෙලූ බවට සැක කෙරෙන අතර ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ දී පමණ ගල් විහාර බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරන්නට ඇති බවට සැලකේ. සැබැවින්ම ක්‍රිස්තු වර්ෂ 7ත් ක්‍රිස්තු වර්ෂ 12ත් අතර කාල සමය ලංකා ඉතිහාසයේ සංකීර්ණ කාල පරිච්ෙඡ්දයකි. මක්නිසාද යත් මෙකල ඇතැම් දුරදර්ෂි පාලකවරු යටතේ සමෘද්ධිමත් පාලන සමයක් ගොඩනැංවුණු බවට සාධක පැවතිය ද, අභ්‍යන්තර කැරලි කෝලහල මෙන්ම විනාශකාරී විදේශ ආක‍්‍රමණවලින් ද අඩුවක් නොවීය. එබැවින් අවුරුදු 500ක් වැනි දීර්ඝ කාලයක් පුරාවට ලලිත කලා ගුරු කුලයක් කිසිදු උපද්‍රවයක් හෝ නොමැතිව දිවයිනේ වයඹදිග කලාපයේ රැඳී සිටි බවට පැවසීම විශ්වාස කළ නොහැකිය. එසේ නම් ඉහත කී ප‍්‍රතිමා ද්විත්වයේ ම බොහෝ කලාංග සමාන වීම කෙරෙහි බලපෑ බලවේගය කුමක්ද? යන්න විමසා බලමු.

ක්‍රිස්තු වර්ෂ ස වැනි සියවසේ සිට ක‍්‍රමයෙන් හිස ඔසවමින් පැවත ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ අනතුරුව ථෙරවාදය හා තරඟකාරීව පැතිරී ගිය මහායාන බලපෑම බව උගතුන්ගේ මතයයි. තන්ත‍්‍රායනය, වජ‍්‍රාසනය, නීලපට දර්ශනය වැනි මහායානික නිකායන් රාශියක් ලක්දිවට ප‍්‍රවිශ්ඨ විය. ඒ සමඟම මහායානික සංස්කෘතික බලපෑමට ලක්වීමට මෙරට කලා ශිල්පියාට සිදු වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මකර තොරණ, විශ්ව වජ‍්‍ර සංකේතය යනාදී මහායානික කලාංගයන් රාශියක් මෙරට බුදු පිළිම කලාව හා ඒකාබද්ධ විය. මහාතිත්ත තොටුපළ සිට අනුරාධපුරය දක්වා විහි දී ගිය මාර්ගයේ ප‍්‍රධාන වාණිජ හා ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පවතින්නට ඇතැයි සිතිය හැකි තන්තිරිමලය තොටුපළ ආශ‍්‍රයෙන් මහායානික සංස්කෘතිකාංගයන්වල නියත බලපෑමට ලක්වීමට සිදු වූ බව පැවසීම තර්කානුකූලය. එහෙත් මෙම ආගමික ව්‍යාකූල තත්ත්වය සමථයට පත්කර ගැනීමෙහි ලා අවංකවම සිය කාලය මිඩංගු කළ පැරකුම්බාවන් විසින් තුන් නිකායම සමගි කරවීය. මේ නිසා ඒ ඒ බෞද්ධ නිකායන්ට අයත් කලා ශිල්පීන්ට ස්වකීය අභිමතය පරිදි කලා කටයුතුවල නිරත වීමට අවකාශ සැලසිණ. ඒ බව වඩාත් තහවුරු වන්නේ පැරකුම්බා නියමයෙන් ගොඩනංවන ලද ගල් විහාරයන්හි ඇතුළත් නිර්මාණ අතර මකර තොරණ, වජ‍්‍ර සංකේතය, රංසිඵලකය, ස්ථූප සංකේත, පංච ධ්‍යාන බුද්ධ ප‍්‍රතිමා වැනි මහායානික කලාංගයන් අන්තර්ගතව තිබීම ය (වික‍්‍රමගමගේ 1998:10). එබැවින් මහැඳුරු පී.ඊ.ඊ. ප‍්‍රනාන්දු, මහැඳුරු පේ‍්‍රමතිලක ඇතුළු විද්වතුන් කිහිපදෙනෙකුගේ මතය වන්නේ ඒවා වජ‍්‍රයාන මහායානික මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි (වික‍්‍රමගමගේ 1998:10-16).

වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේ දී වුව ද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප‍්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක විහාරය ඉදිරිපස හමුවන ශක්තිමත් ඝනකම් ගඩොළු අත්තිවාරම් තුනෙන් මෙන්ම ගලෙහි මුහුණතෙහි බිත්තිවල සීමා දක්නට ලැබීමෙන් විශද වේ (ලගමුව 1999:144). මේවා සම කාලීන තිවංක පිළිමගෙය, ලංකාතිලකය වැනි පිළිම ගෙවල්වල ආකෘතියට සමාන බව උගතුන්ගේ අදහසයි (ලගමුව 1999:199). මීට අමතරව විහාරය ඉදිරිපස බෝධිඝරයක නටඹුන් හඳුනාගත හැක. බද්ධ සීමා ප‍්‍රාසාදයෙහි ද ගල් විහාරයේ ප‍්‍රතිමා තරම් උසස් නොවූව ද එහි ආකෘතියට සමාන කුඩා බුදු පිළිම කීපයක් නෙළා ඇත. දර්ශනීය බුද්ධ ප‍්‍රතිමා වහන්සේලාට අමතරව විද්‍යාධර ගුහාවත් හිටි පිළිමයත් අතර පර්වතයෙහි මහා පැරකුම්බා නියමයෙන් කොටවන ලද පොලොන්නරුව කතිකාවත හෙවත් ගල් විහාර සෙල් ලිපිය හඳුනාගත හැක. අඩි 13×4 ප‍්‍රමාණයෙන් සහ පේළි 51කින් යුත් මෙම ලිපියෙහි (E.Z VOL. 2.P. 256) අන්තර්ගතය වන්නේ ලංකේෂ්වර පරාක‍්‍රමබාහු රජගේ රාජ අනුග‍්‍රහය ලද දිඹුලාගල කාශ්‍යප හිමියන් ප‍්‍රධාන සංඝයා රැස් කරවා දුශ්ශීල මහණුන්ගේ සිවුරු හරවා බැහැර කොට සුචරිතවත් භික්‍ෂූන්ට සිවුපස සලසා තුන් නිකායම සමඟි කොට ශාසන ශුද්ධියක් කරවා ඒ ඒ නිකායන් විසින් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව වූ ව්‍යවස්ථාවන් ය (ලගමුව 1999:147).

ඉහත කී කරුණු කාරණා සමාලෝචනය බැලූ විට පෙනී යන්නේ උත්තරාරාමය හෙවත් ගල් විහාරය යනු මධ්‍ය කාලීන ලංකාවේ ශාසනික ඉතිහාසය සහ කලාශිල්පවල ඉතිහාසයේ සාරය කැටි කොට නූතන ශාස්ත‍්‍රඥයාට විශද කරවන උසස් බෞද්ධ ස්මාරකයක් වන බවයි. එබැවින් මෙම කලාගාරය සුරැකීම ලාංකේයයන් වන අපගේ යුතුකමකි.

ආශී‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

  • මහාවංසය (1996) හික්කඩුවේ ශී‍්‍ර සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත පඬිතුමා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • අමරසිංහ, මාලිංග (1998) පොලොන්නරුවේ නටඹුන්, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ
  • දේවේන්ද්‍ර, ඩී.ටී. (2007) සඳකඩ පහණ සහ වෙනත් ලිපි, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • රතනසාර, තිරාණගම (1985) බුදු පිළිමය, කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
  • ලගමුව, ඒ. (1999), මධ්‍යකාලීන රාජධානිය පොලොන්නරුව, කොළඹ සරසවි ප‍්‍රකාශකයෝ.
  • වික‍්‍රමගමගේ, චන්‍ද්‍රා (1998), ගල් විහාරයේ කලාව හා වාස්තු විද්‍යාව, කර්තෘ ප‍්‍රකාශනයකි.
  • පරණවිතාන, සෙනරත් (1976) ලංකා ඉතිහාසය, 11 කාණ්ඩය, කොළඹ, විද්‍යාලංකාර විශ්ව විද්‍යාල ප‍්‍රකාශනයකි.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.08.26 වැනි දින  www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

උරුම කළමනාකරණය : 1. සංකල්පමය ප‍්‍රවේශයක්

අරුණ රාජපක්ෂ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

හැඳින්වීම

ආචාර්ය අරුණ රාජපක්ෂ

විශේෂ සංකල්ප වන උරුමය, උරුමය සංරක්ෂණය සහ කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය ආදී මාතෘකා පිළිබඳව මෙන් ම එම සංකල්පවල අෙන්‍යා්න්‍ය අවියෝජනීය සබඳතාව හා විඝටනාත්මක තත්වයන් සාකච්ඡා කෙරේ. උරුම සංකල්පය අතීත, වර්තමාන සහ අනාගතය සම්බන්ධ වන්නා වූ ගතික සංකල්පයක් මෙන් ම කි‍්‍රයාවලියකි. උරුමය ස්වාභාවික මෙන් ම සංස්කෘතික වශයෙන් ස්පර්ශනීය මෙන් ම අස්පර්ශනීය ගති ලක්ෂණයන්ගෙන් ද සමන්විත වේ. උරුමයන් විවිධ සන්දර්භයන්හි දී විවිධ වූ අනන්‍යතා ප‍්‍රකට කරන අතර උරුමයකට ලඟා කර ගත හැකි ඉහළම අනන්‍යතාව වන්නේ ජගත් උරුම අනන්‍යතාවයි. ආරෝපිත ජගත් උරුම අනන්‍යතාව තත් ක්ෂේත‍්‍රයන්හි සංචාරක ආකර්ෂණයට ඍජුවම බලපාන අතර එය ක්ෂේත‍්‍රයේ උරුම කළමනාකරණ කි‍්‍රයාදාමයට ධනාත්මක මෙන් ම ඍණාත්මක බලපෑම් එල්ල කරනු ලැබේ. ඒ අනුව විවිධ ක්ෂේත‍්‍ර සන්දර්භයන්හි ගති ලක්ෂණ මත උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය අතර සබඳතාව විඝටනාත්මක හෝ අන්‍යොන්‍ය සහජීවන සබඳතාව ප‍්‍රකට කරනු ලැබේ. මෙම උරුම ක්ෂේත‍්‍ර වර්තමානයේ ගෝලීයකරණය, වෙළඳපොළ ආර්ථිකය සහ සංස්කෘතික භාණ්ඩකරණය වැනි ප‍්‍රවණතා අබිමුව විවිධ අභියෝගයන්ට මුහුණ දී ඇත. ඒ නිසා උරුම සම්පත් සංරක්ෂණය සංචාරක අත්දැකීමේ ගුණාත්මක භාවය සහ ප‍්‍රාදේශීය ප‍්‍රජා යහ සාධනය ආදී අංශයන්හි තිරසාරභාවය උරුම සැළසුම් තුළින් ආමන්ත‍්‍රණය කළ යුතු වේ. මෙහි දී තත් ක්ෂේත‍්‍ර ආශි‍්‍රත සහ අනුබද්ධ ප‍්‍රජාව විශේෂ වශයෙන් අරමුණු කරගත් ප‍්‍රවේශයක් වෙත යොමුවීම වැදගත් වන අතර එය හුදෙක් අධිපතිවාදී වෘත්තිමය දැනුම මත පමණක් පදනම් විය යුතු නො වේ.

උරුමය, උරුම කළමනාකරණය සහ උරුම සංචාරක ව්‍යාපාරය නිර්වචනය කිරීම

‘උරුමය’ (Heritage) නමැති වචනය සංකීර්ණ, පුළුල්, එසේම විටෙක පටු, සුනම්‍ය, නිර්වචනය කිරීමට දුෂ්කර අරුත්බර වචනයකි. විවිධ ශික්‍ෂණයන්ට සම්බන්ධ විද්වතුන් ‘උරුමය’ යන වචනය විවිධ සන්දර්භයන් තුළ නිර්වචනය කිරීමට ප‍්‍රයත්න දරා ඇත. ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රීසි ශබ්දකෝෂයට අනුව උරුම කරගත් යමක් ඊට ඇතුළත් වේ1. සිංහල භාෂාවෙන් ජන්ම දායාදය, ප‍්‍රවේණිය යන වචන උරුමයට සමානාර්ථ සහිතය. වාග් විද්‍යාඥයින්ට අනුව උරුමය තුළට ආරක්‍ෂා කිරීමට පෙලඹෙන, පූර්ව පරම්පරාවන්ගෙන් උරුම වූ වාස්තුවිද්‍යාත්මක ගොඩනැඟිලි, ස්මාරක සහ ගම්මාන ආදිය ඇතුළත් වේ2. හ්‍යුසන් (Hewson)3ට අනුව උරුමය නම්, පූර්ව පරම්පරාවන් විසින් ආරක්‍ෂා කොට වර්තමානයට බාර දී ඇති, එසේම සැලකිය යුතු ජන කණ්ඩායමක් විසින් අනාගතයට බාරදීමට අපේක්‍ෂා කරන්නකි. හර්බර්ට් (Herbert 1995)4 උරුමය ප‍්‍රධාන වශයෙන් ස්වාභාවික එනම් ස්වභාව ධර්මය හා බද්ධ වූ උරුමයහා සංස්කෘතික උරුමය ලෙස දෙයාකාරයකට වර්ග කර හඳුනා ගනී. ෆීල්ඩන් (Hewson) සහ ජොකිලිතෝ (Jokilehto 1998)5 සංස්කෘතික උරුමය ලෙස දක්වන්නේ මානවයා විසින් කාලයාගේ ඇවෑමෙන් අත් පත් කරගත් සංකේත, ලේඛන, ක‍්‍රියාකාරකම් සහ වෙනත් මුදුන් පමුණුවා ගැනීම් ය. අර්ථකථනයන්ගේ විවිධතාවක් සහිත “උරුමය” (Heritage) නමැති වචනය අයිකොමොස් (ICOMOS) සංවිධානය විසින් වඩාත් පුළුල් අරුතකින් නිර්වචනය කර ඇත්තේ පහත සඳහන් පරිදිය.

“මෙම පෘථුල සංකල්පයට ස්වාභාවික හා සංස්කෘතික පරිසරය ඇතුළත් වේ. ඒ තුළට භූ දර්ශන, ඓතිහාසික ස්ථාන, ක්ෂේත‍්‍ර සහ නිර්මිත පරිසරයන් මෙන්ම ජෛව විවිධත්වය, පුරාවස්තු එකතූන්, අතීතයේ සිට ක‍්‍රියාත්මක වෙමින් පවත්නා සංස්කෘතික ක‍්‍රියාකාරකම්, දැනුම හා ජීවමාන අත්දැකීම් ඇතුළත් ය. ඒ තුළින් ඓතිහාසික සංවර්ධනය, විවිධ ප‍්‍රාදේශීය, ජාතික, දේශීය අනන්‍යතාවන් ප‍්‍රකාශ කෙරෙන අතර, එය නූතන ජීවිතය සමග ඒකාබද්ධව පවතී.” (ICOMOS 2002)6.

මෙම නිර්වචනයෙන් උරුමයෙහි විවිධතාව හා එහි අනන්‍යතා මට්ටම් පිළිබඳවත් අවධාරණය කෙරෙන අතර, උරුමය අතීතය පිළිබඳව මෙන්ම වර්තමානය හා අනාගතය සමගත් බැඳී පවතින සංකල්පයක් බව පැවසේ. උරුම නිර්වචනයේ දී අන්තර්ජාතික දෘෂ්ටිකෝණයෙන් වැදගත් සන්ධිස්ථානයක් 1972 යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම සම්මුතියෙන් හඳුනාගත හැකි ය. ලෝක උරුම සම්මුතියේ ඇතුළත් ‘ලෝක උරුම සංකල්පය’ පිළිබඳව සුබවාදී මෙන්ම අසුබවාදී විවේචන තවමත් සාකච්ඡා වන අතර7 ඒ තුළින් උරුම සංකල්පය විශ්වීය දෘෂ්ටිකෝණයකින් විග‍්‍රහ කිරීමට පෙලඹේ. උක්ත ප‍්‍රඥප්තියට අනුව ලෝක උරුම වන්නේ විරලල විනාශ වන සුළු, නවීකරණය කළ නොහැකි විශේෂ ඓතිහාසික, විද්‍යාත්මක හෝ සෞන්දර්යාත්මක ගුණාංගයන්ගෙන් සමන්විත සම්පත් ය. මෙම උරුම සංකල්පය ද්‍රව්‍යාත්මක අංශය පමණක් අවධාරණය වූ අසම්පූර්ණ නියෝජනයක් යැ යි බටහිර නොවන රටවල් තුළින් එල්ල වූ විරෝධාත්මක විවේචනයන්ට ප‍්‍රතිචාරයක් ලෙස උරුමයෙහි අස්පර්ශනීය (intangible) පාර්ශ්වය ආරක්‍ෂා කිරීම සඳහා වූ 2003 ප‍්‍රඥප්තිය (Convention for the safeguarding of Intangible Heritage)8 යුනෙස්කෝව විසින් හඳුන්වා දෙන ලදි.

උරුමය පිළිබඳ විවිධ නිර්වචනයන්ට අනුව එය අතිශයින් සංකීර්ණත්වයක් පෙන්වුව ද ඒ හැම නිර්වචනයක්ම සලකා බැලීමේ දී උරුම සංකල්පය පහත සඳහන් ගතිලක්‍ෂණයන්ගෙන් සමන්විත වන බව පෙනේ.

  • උරුමය අතීත පරම්පරාවන්ගෙන් වර්තමානයට උරුමවන එසේම අනාගතයට දායාද කෙරෙන්නක් බැවින් එය ගතික සංකල්පයකි
  • උරුමය අතීත හා වර්තමාන සමාජයන් තේරුම් ගැනීමට ආධාරක වේ
  • උරුමය භෞතික, ස්පර්ශනීය මෙන්ම අභෞතික හා අස්පර්ශනීය ද වේ
  • උරුමය ප‍්‍රධාන වශයෙන් ස්වාභාවික හා සංස්කෘතික ලෙස දෙයාකාර වේ
  • උරුමය ක‍්‍රියාවලියකි

උරුමය සහ අනන්‍යතා

උරුමය හා බැඳුණු අනන්‍යතා මට්ටම් පිළිබඳ සලකා බැලීම වැදගත් වේ. උරුමය හා අනන්‍යතාව එකිනෙකට බද්ධ වූ සංකල්ප දෙකකි. උරුමයන් අවකාශීය අර්ථයෙන් ගත් කල භූගෝලීය සීමාවන්ට අනුව නිර්වචනය කළ හැකිය. එනම් පුද්ගල බද්ධ, ප‍්‍රාදේශීය, ජාතික, කලාපීය, ජගත් නැතහොත් ලෝක උරුම වශයෙනි. (රූප සටහන 1)

රූප සටහන1 – විවිධ අවකාශීය සන්දර්භයන් තුළ උරුමයේ අන්තර් සබඳතාව

උරුමයේ ක්ෂේත‍්‍රයන් (Fields of Heritage) වන ස්වභාව ධර්මය, භූ දර්ශන, ස්මාරක, ක්ෂේත‍්‍ර, පුරාවස්තු, ක‍්‍රියාකාරකම් සහ පුද්ගලයන් විවිධ අවස්ථාවල අන්‍යෝන්‍ය වශයෙන් ඒකාබද්ධ වීම මගින් විවිධ අනන්‍යතා මට්ටම් නියෝජනය කෙරේ. මේ බව පීටර් හොවාඩ්ෙග් (Howard) උරුම ඝනක (Heritage cube) සංකල්පය තුළින් පැහැදිලි වේ.9 මින් පැහැදිලි වන යථාර්ථයක් නම් උරුමයන් බොහෝ විට එක් අනන්‍යතාවකට සීමා නොවන බවයි. ඒවා උරුම කරගන්නා වූ ගතිලක්‍ෂණ මත පුද්ගල, ප‍්‍රාදේශීය, ජාතික හා ජාත්‍යන්තර ආදී විවිධ අදියර තුළ නියෝජනය වේ. 10 උක්ත අනන්‍යතාවන් අතර විටෙක විඝටනාත්මක මෙන්ම සහජීවනකාරී සම්බන්ධතා ද හඳුනාගත හැකි ය. (රූප සටහන 2)

රූප සටහන 2 – උරුමයේ විවිධ අනන්‍යතා

පුද්ගල උරුමය (Personal Heritage) : පුද්ගල උරුමය ලෙස සලකනු ලබන්නේ සෑම පුද්ගලයෙකුම සතු, ආරක්‍ෂා කිරීමට පෙළඹෙන එසේම සෙස්සන් සමඟ බෙදාහදාගැනීමට කැමති උරුමයන්ය. උදාහරණ ලෙස සිය පවුලේ අතීතය සිහිගන්වන සංකේත, සම්ප‍්‍රදායන් විය හැකි ය.11

ප‍්‍රාදේශීය උරුමය (Local Heritage) : ප‍්‍රාදේශීය යන්නෙන් අදහස් වන්නේ රාජ්‍යයක් තුළ පිහිටි ප‍්‍රදේශයක සිට කිසියම් සංසිද්ධියකට සම්බන්ධ නිශ්චිත ස්ථානයක් දක්වා විහිද යන්නකි. ඍජුව හෝ වක‍්‍රව බොහෝ උරුමයන් නෛසර්ගික ලෙස කිසියම් විශේෂ භෞතික ස්ථානයක් හා සම්බන්ධ වේ.12

ජාතික උරුමය (National Heritage) : ජාතික රාජ්‍යයන් සිය ජාතික අනන්‍යතා තහවුරු කිරීමට යොදාගන්නා වූ උරුමයන් ජාතික උරුමයන් වේ. ජාතික කෞතුකාගාර, ජාතික ලේඛනාගාර, ජාතික ස්මාරක, ජාතික වීරවරයන්, ජාතික උත්සව ආදිය ඊට නිදසුන්ය. දේශීය අනන්‍යතා ප‍්‍රකට කරන උරුමයන් ජාතික උරුම හා ලෝක උරුම සම්බන්ධයෙන් වැදගත් වේ. ජගත් තලයේ හා ජාතික තලයේ සමාජ, ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් සෙසු දේශයන්ගෙන් හා ප‍්‍රජාවන්ගෙන් විශේෂ වශයෙන් වියුක්ත කොට වෙනස් ලෙස හඳුනා ගැනීමට ඉවහල් වන බැවින් දේශීය ආයතන සහ ප‍්‍රජාව විසින් එකී උරුමයන් නඩත්තු කිරීමට හා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුචියක් දක්වනු ලැබේ. දේශීය විවිධතා සහිත උරුමය විටෙක දේශීය සම්පතක් මෙන්ම විටෙක ජාතික අභියෝගයකි. උරුම සංචාරක ව්‍යාපාරය උදෙසා විශේෂ වෙළඳපොළ නිර්මාණයට අවස්ථාවක් සැපයුවත් ශක්තිමත් ජාතික අනන්‍යතා වර්ධනය කිරීමට මෙම විවිධත්වය අභියයෝගයකි. එය රටක භූගෝලීය හා දේශපාලනික විභජනයන්ට ද පාදක විය හැකි ය.13 එහෙයින් මෙම විභවතාව සමපාත කිරීම උරුම සංරක්‍ෂණයේ දී අභියෝගයක් වෙයි. ග‍්‍රැහැම් (Graham et al. 2000)14 තර්ක කරන අන්දමට වාස්තු විද්‍යාත්මකව වැදගත් නාගරික උරුම ක්ෂේත‍්‍ර සංරක්‍ෂණ කටයුතුවල දී ප‍්‍රාදේශීය ගතිලක්‍ෂණයන් සංරක්‍ෂණය කිරීම අපේක්‍ෂා කළ ද ජාත්‍යන්තර (විශේෂයෙන් බටහිර රටවලට නැඹුරු) සංරක්‍ෂණ මූලධර්ම මත පිහිටා ප‍්‍රමිතිකරණයට (Standardization) ලක් කිරීම තුළ ප‍්‍රාදේශීය සුවිශේෂ ගතිලක්‍ෂණවලට බලපෑම් සිදුවීම නොවැළැක්විය හැකි අතර ස්ථාන සමජාතීකරණය (homogenization) එහි අනිවාර්ය ප‍්‍රතිඵලයකි. මෙයට හේතු වී ඇත්තේ,

  • ක්ෂේත‍්‍රයේ නියුතු වෘත්තිකයින්ගේ ප‍්‍රායෝගික භාවිතාවන් බටහිර මූලධර්ම මත ප‍්‍රමිතිගත වීම
  • ජාත්‍යන්තර ආයතන සංරක්‍ෂණ ක‍්‍රියාවලීන්හි දී ජගත් තලයේ සාර්ථකව ක‍්‍රියාවට නැගුණු ව්‍යාපෘති දේශීය සන්දර්භයන් නොසලකා පුනර්කරණයට ලක් කිරීම
  • උරුම සැලසුම්කරුවන් හා කළමනාකරුවන් විසින් විවිධ ආකෘති ඒ ආකාරයෙන්ම සන්දර්භයන් නොසලකා යොදාගැනීම
  • විදේශීය සංචාරක ඉල්ලුම මත උරුමය වෙළඳපොළ තුළ භාණ්ඩකරණයට නැතහොත් වාණිජකරණයට ලක් කිරීම ආදී කරුණු ය.

ජගත් උරුමය (World Heritage)

ස්වාභාවික හෝ සංස්කෘතික උරුමයකට මුදුන් පමුණුවා ගත හැකි උච්චත ම භූගෝලීය අනන්‍යතාව වන්නේ ගෝලීය, විශ්වීය, ලෝක නැතහොත් ජගත් උරුම අනන්‍යතාව බව පොදු පිළිගැනීමයි. මානව වර්ගයාගේ පොදු උරුමයක් සඳහා වූ විශ්වීය අයැදීම අන්තර් රාජ්‍ය සංවිධාන හරහා සිදු වූ අතර එහි දී යුනෙස්කෝසංවිධානය විශේෂ වේ. මෙම ජගත් උරුම සංකල්පය සඳහා පසුබිම සැකසෙන්නේ පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව එනම් පශ්චාද් යුද සමයේ දී ය. 1960 දශකයේ පමණ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් සංස්කෘතික උරුම ක්ෂේත‍්‍රවලට අහිතකර බලපෑම් එල්ල වන්නට විය. මෙම පසුබිම තුළ ජාත්‍යන්තර අවධානය ද ඒ කෙරෙහි යොමුවිය. මීට පෙර සංස්කෘතික උරුමයන් පිළිබඳ අවධානය හුදෙක් දේශීය හා ජාතික ස්වරූපයක් පෙන්නුම් කළ ද මේ වන විට එය ජාත්‍යන්තර අවධානයට ලක් වී ඒවා විනාශයෙන් මුදවා ගැනීමට හා ආරක්‍ෂා කිරීමට ව්‍යාපාරයක් යුනෙස්කෝ සංවිධානය විසින් ආරම්භ කරන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස දේවස්ථාන 14ක් හා පුරාවස්තු රැසක් ආරක්‍ෂා කර ගැනීමට මූල්‍යමය ප‍්‍රතිපාදන ලබාදීම සිදුවිය.15 මේ හරහා සංස්කෘතික උරුමයේ ආරක්‍ෂාවට ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් හා සම්මුතියක් සකස් වීමට මඟ පාදන ලදි. මෙසේ ජාත්‍යන්තරකරණය වූ උරුම ව්‍යාපාරය ජගත් උරුම ප‍්‍රඥප්තිය සකස් වීමට හේතුවක් විය. 1972 ස්ථාපිත ජගත් උරුම ප‍්‍රඥප්තිය මඟින් ලෝකයේ අද්විතීය අගයක් සහිත (Outstanding Universal Value) ස්වාභාවික හා සංස්කෘතික උරුම ක්ෂේත‍්‍ර හඳුනා ගැනීම, ආරක්‍ෂා කිරීම හා සංරක්‍ෂණය කිරීම සඳහා කටයුතු කෙරේ. මෙම ප‍්‍රඥප්තිය 1977 වසරේ සිට ක‍්‍රියාත්මක වූ අතර ඒ යටතේ ස්ථාපිත ලෝක උරුම ලැයිස්තුවට (World Heritage List) ක්ෂේත‍්‍ර ඇතුළත් කිරීම ලෝක උරුම කමිටුව (World Heritage Committee) මඟින් 1978 සිට ආරම්භ කෙරිණ. මේ වන විට උක්ත ප‍්‍රඥප්තියට රටවල් 186ක් ඇතුළත් වන අතර ලෝක උරුම ලැයිස්තුව ක්ෂේත‍්‍ර 919කින් සමන්විත ය. ඒ අතරින් 706ක් (77%) සංස්කෘතික උරුම ක්ෂේත‍්‍ර වන අතර 187ක් ස්වාභාවික ක්ෂේත‍්‍ර ද, 26ක් මිශ‍්‍ර ක්ෂේත‍්‍ර ද වේ. මෙම ක්ෂේත‍්‍රයන්ගේ ව්‍යාප්තිය සැලකීමේ දී ඉන් බහුතරයක් යුරෝපය තුළ දක්නට ලැබේ.16

ආරම්භයේ දී මෙම ලැයිස්තුවට ක්ෂේත‍්‍ර ඇතුළත් කිරීම සඳහා වූ ඇගයීමේ ක‍්‍රියාවලිය උපදේශක මණ්ඩලයක් මගින් තරමක් අසංවිධිත අයුරින් සිදුකරන ලද අතර ප‍්‍රඥප්තියේ නිර්ණායකයක් වූ ‘මානව වර්ගයාට ඇති අද්විතීය අගය’ යන්න පැහැදිලිව නිර්වචනය කළ නොහැකි වීම එයට හේතු විය.17 ජගත් උරුම ලැයිස්තුව සඳහා අන්තර්ග‍්‍රහණය කිරීමට නිර්ණායක 10ක් ස්ථාපිත කිරීම වැදගත් වර්ධනයක් වූ අතර ඒවා 2005 වසරේ ජගත් උරුම සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ නිර්දේශවල සවිස්තරාත්මකව ඇතුළත් කරන ලදි.18 මින් හයක් සංස්කෘතික නිර්ණායක වන අතර හතරක් ස්වාභාවික නිර්ණායක වේ.

සෑම යෝජිත ක්ෂේත‍්‍රයක්ම අවම වශයෙන් මෙම නිර්ණායකවලින් එකක් හෝ සපුරාලිය යුතු වන අතර ඒවායේ අද්විතීය බව (Uniqueness) ඓතිහාසික තථ්‍යතාව (Historical Authenticity) ඒකාබද්ධතාව (Integrity) ආරක්‍ෂා කළ යුතු ය.19 ජගත් පරිමාණයෙන් සැලකීමේ දී උරුම ක්ෂේත‍්‍ර 3ක් උක්ත සංස්කෘතික නිර්ණායක හයම සම්පූර්ණ කර ඇති අතර, ජගත් උරුම ලැයිස්තුවේ ක්ෂේත‍්‍ර 94ක් සම්පූර්ණ කර ඇත්තේ එක් නිර්ණායකයකි. සංස්කෘතික නිර්ණායක IV එනම් ගොඩනැඟිලි හා වාස්තු විද්‍යාත්මක කෘති සම්බන්ධ නිර්ණායකය ලැයිස්තුගත ක්ෂේත‍්‍රයන්ගෙන් 69%ක් සම්පූර්ණ කර ඇති අතර ආසියානු කලාපයේ ක්ෂේත‍්‍ර ඉන් ඉහළ අගයක් ගනී.20 ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම ක්ෂේත‍්‍ර උක්ත නිර්ණායකයන් අතරින් I, III, IV සහ VI සම්පූර්ණ කර ඇත. අධ්‍යයනයට බඳුන්වන අනුරාධපුර පූජනීය නගරය සහ මහනුවර පූජනීය නගරය පිළිවෙලින් සංස්කෘතික නිර්නායක I, III, VI සහ IV, VI  සම්පූර්ණ කර තිබේ.

මෙම ජගත් උරුම ලැයිස්තුව බොහෝ විද්වතුන්ගේ ඇගයීමට මෙන්ම විවේචනයට ද භාජනය වී ඇත. ජගත් උරුම ලැයිස්තුව හැඳින්වීම සඳහා විද්වතුන් භාවිත කළ වචන වලින් එහි අගය මොනවට පිළිබිඹු වේ.21 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 191 අතුරින් 176ක්, එනම් ප‍්‍රතිශතයක් ලෙස (92%)ක් උක්ත ජගත් උරුම සම්මුතිය පිළිගෙන ඇති අතර ජනප‍්‍රියම ජගත් සම්මුතිය බවට පත් වී ඇත. Dutt (1999)22 සඳහන් කරන්නේ මෙම සම්මුතිය අන්තර්ජාතික සහයෝගීතාව සඳහා කදිම නිදර්ශනයක් බවයි.

ජගත් උරුම ලැයිස්තුවේ ප‍්‍රතිලාභ ප‍්‍රධාන කාරණා දෙකක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය. එනම් විශේෂ අවධානයක් ලබා ගැනීමට හැකිවීම සහ විශේෂ ආරක්‍ෂාවක් සැලසීමය. මෙම ලැයිස්තුව ගෝලීය උරුමයන් ආරක්‍ෂා කිරීම සඳහා වන සාමූහික යාන්ත‍්‍රණයක් වන අතර එහි දී විවිධ පාර්ශ්වකරුවන්ගේ (ජාත්‍යන්තර හා දේශීය) අවධානය දිනා ගැනීමට සමත් වේ. උරුමයක් මෙම ගෝලීය අනන්‍යතාව ලබා ගැනීමත් සමග දැවැන්ත ප‍්‍රචාරණයකට භාජනය වන අතර ඒ හරහා සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට මග පෑදීම ඔස්සේ ක්ෂේත‍්‍ර සංරක්‍ෂණයටත් ආර්ථික සංවර්ධනයටත් බපෑමක් නිරායාසයෙන් ම ඇති වේ.

එසේම බොහෝ විද්වතුන් මෙම ලැයිස්තුවේ වලංගුතාව ප‍්‍රශ්න කර ඇති අතර ඒ මඟින් සංචාරක ව්‍යාපාරයට හෝ රටක ආර්ථිකයට බලපෑමක් නොමැති බවද ප‍්‍රකාශ කරයි.23

උරුමය කළමනාකරණය සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රවේශය

උරුම සංරක්‍ෂණය පිළිබඳ ප‍්‍රථම ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය වන “ඓතිහාසික ස්මාරක ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඇතැන්ස් ප‍්‍රඥප්තිය” (Athens Charter for the restoration of historicmonuments)24 1931 ඇතැන්ස් නුවර පැවති වාස්තුවිද්‍යාඥයින්ගේ සහ තාක්‍ෂණික ශිල්පීන්ගේ ප‍්‍රථම අන්තර්ජාතික සමුළුවේ දී පිළිගන්නා ලදි. නමුත් එහි භාවිතාව යුරෝපයට පමණක් සීමා විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංස්කෘතික උරුමයට සිදු වූ විනාශය පසක් වීම නිසා උරුමය කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ආරක්‍ෂා කිරීමේ පරමාර්ථයෙන් බොහෝ සංවිධාන ප‍්‍රභවය වන්නට විය. 1946 දී යුනෙස්කෝ (UNESCO) සංවිධානය ස්ථාපිත වීමෙන් අනතුරුව එහි අන්තර්ජාතික කෞතුකාගාර කවුන්සිලය (ICOM) ප‍්‍රභවය විය. ඉන් අනතුරුව 1956 යුනෙස්කෝ සංවිධානයේ 9 වන සමුළුවේ දී, සංස්කෘතික සම්පත් ප‍්‍රතිසංස්කරණය හා සංරක්‍ෂණය අධ්‍යයනය සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (International centre for the study of restoration and preservation ofcultural property) (ICCROM) ස්ථාපිත කිරීම සඳහා වූ තීරණය ගන්නා ලද අතර ඒ සඳහා සත්කාරකත්වය ඉතාලි රජය විසින් 1959 දී දරන ලදි. ස්මාරක හා ක්ෂේත‍්‍ර පිළිබඳ අන්තර්ජාතික කවුන්සිලය (International Council on Monuments and Sites) (ICOMOS) ස්ථාපිත කිරීමද, 1964 වැනීසියේ ප‍්‍රඥප්තිය (Venice Charter)25 ස්ථාපිත කිරීමට සමගාමීව සිදුවිය.

ස්මාරක සහ ක්ෂේත‍්‍ර සංරක්‍ෂණය සහ ප‍්‍රතිසංස්කරණය සඳහා වන අන්තර්ජාතික ප‍්‍රඥප්තිය (International Charter for the conservation and restoration of monuments andsites) නැතහොත් වැනීස් ප‍්‍රඥප්තිය 1964 දී ස්ථාපිත කළ අතර එහි අවසන් පරිච්ෙඡ්දයේ සඳහන් වන පරිදි උරුම සංරක්‍ෂණයේ මාර්ගෝපදේශල මූලධර්මවල කොඳු නාරටිය බවට පත්විය. මෙය සංරක්‍ෂණ ඉතිහාසයෙහි විශේෂ සන්ධිස්ථානයකි. වැනීසියේ ප‍්‍රඥප්තියේ වැදගත් ලක්‍ෂණයක් නම් එය අනාගත පරම්පරාව සඳහා උරුමය ආරක්‍ෂා කිරීමේ උරුම වෘත්තිකයන්ගේ වගකීම අවධාරණය කිරීමය (ICOMOS 1994). උරුමය අනාගත ප‍්‍රජාවගේ ප‍්‍රයෝජනය සඳහා ආරක්‍ෂා කිරීමේ වගකීම වෘත්තිකයින් විසින් සිදුකළ යුතු බවට සලකන ලදි. මෙම ප‍්‍රඥප්තියේ අවධාරණය කරනු ලබන උරුමයේ මුල් ද්‍රව්‍යාත්මක ව්‍යූහය, තථ්‍යතා (Authenticity) සංකල්පය, යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල නව සංරක්‍ෂණ ක‍්‍රියාවලියක ආරම්භය සනිටුහන් කිරීමට සමත් විය.

උරුමයේ අගය නිර්වචනය කරන තත්‍යතා නැතහොත් අව්‍යාජත්ව අදහස තවදුරටත් 1972 ජගත් උරුම ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වන මෙහෙයුම් නිර්ණායක තුළ (Operational guidelines)26 අවධාරණය කෙරිණි. විද්‍යාත්මක සංරක්‍ෂණ භාවිතය අවධාරණය කරන වැනීසියේ ප‍්‍රඥප්තිය මගින් තත්කාලීන ලෝක සන්දර්භයට බලපෑමක් සිදුකරන ලදි.

ජගත් උරුමයක් බවට පත්වීමට නම් අද්විතීය විශ්වීය අගය හා අව්‍යජත්වය පැවතිය යුතුය. උක්ත සංකල්ප හරහා උරුමය සහ දේශීය ප‍්‍රජාව තවදුරටත් වෙන් කිරීමක් සිදු වේ. උදාහරණ ලෙස ස්තූපයක්, ස්මාරකයක් ප‍්‍රතිසංස්කරණය කිරීම වැනි සාම්ප‍්‍රදායික මැදිහත් වීමක් උරුමයේ අව්‍යාජත්වය විනාශවේය යන බියෙන් අවසර නොදේ. මෙම තත්ත්වය තුළින් උරුමය සහ සාමාන්‍ය ප‍්‍රජාව අතර පවතින අන්තර් සම්බන්ධයට බලපෑම එල්ල වී උරුමය වෘත්තිකයන් අතර සබඳතාවට පමණක් සීමා වේ. ප‍්‍රජාව හුදු නරඹන්නන් බවට පත්වන අතර ස්පර්ශ කිරීමෙන් වෙන් වේ. වෘත්තිකයන් විසින් උරුමය කෞතුකාගාරකරණයට ලක් කිරීම තුළ එනම් ප‍්‍රජා සබඳතාව දුරස් කිරීම තුළ උක්ත පසුබිම අනිවාර්ය ප‍්‍රතිඵලයකි. මෙසේ සාම්ප‍්‍රදායික ගුණාංගවලින් වියුක්ත වීම තුළ ආගම පුරාවිද්‍යාඥයන්ගේ, විද්වතුන්ගේ, උරුම වෘත්තිකයන්ගේ ආගමක් බවට පමණක් පත්වීමේ ස්වභාවයක් දක්නා ලැබේ.

කාලයාගේ ඇවෑමෙන් උරුම සංරක්‍ෂණයේ හා කළමනාකරණයේ යුරෝපීය රාමුවේ ගැටලු හඳුනා ගනිමින් දේශීය සන්දර්භය තුළ එවැනි යාන්ත‍්‍රණයන්ගේ ප‍්‍රතිඵලදායී බව දේශීය වෘත්තිකයන් විසින් ප‍්‍රශ්න කරන ලදි. එබඳු එක් ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් නම් 1979 වසරේ ස්ථාපිත කළ සංස්කෘතික වැදගත්කමක් සහිත ස්ථාන සංරක්‍ෂණය කිරීම සඳහා වන ඕස්ටේ‍්‍රලියා අයිකොමොස් ප‍්‍රඥප්තියයි (Australia ICOMOS Charter for the conservation of places of cultural significance)27. මෙයඔස්ටේ‍්‍රලියාවේ දේශීය ඇබොරිජින් (Aborigin) ගෝත‍්‍රික ප‍්‍රජාව සමඟ උරුම සංරක්‍ෂණයේ දී ලද අත්දැකීම් පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද්දකි. ඒ තුළ උරුම ස්ථානයන්ගේ භාවිතය සහ උරුම ස්ථානයන්ගේ අර්ථය සම්බන්ධයෙන් බොහෝ අස්පර්ශනීය අංශ කෙරෙහි අවධානය යොමු කිරීම සහ උරුමය සම්බන්ධ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේ දී ස්ථානීය ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ මැදිහත්වීම අවධාරණය කර ඇත.

පුරාවිද්‍යාත්මක උරුමය ආරක්‍ෂා කිරීම සහ කළමනාකරණය සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය 1990 දී ස්ථාපිත කරන ලදි.ඒ තුළ වර්තමාන හා අනාගත ප‍්‍රජාවගේ ප‍්‍රතිලාභ සඳහා උරුම වෘත්තිකයන්ගේ කාර්යභාරය අවධාරණය කරන අතරම දේශීය ප‍්‍රජාව ද උරුමයේ ජීවමාන නියෝජනයක් වන අවස්ථා වලදී ආරක්‍ෂා කිරීම සඳහා අනිවාර්ය පාර්ශ්වයක් විය යුතු බව ප‍්‍රකාශ කරයි.28 1990 වසරේම සංස්කෘතික උරුම අගයන් සහිත ස්ථානයන් සංරක්‍ෂණය සඳහා වන නවසීලන්ත අයිකොමොස් ප‍්‍රඥප්තිය (Chater for the conservation of places of cultural heritage value) ස්ථාපිත29 වන අතර ඒ තුළ ද නූතන නෛතික අයිතිය කෙසේ වුව ද ප‍්‍රාදේශීය ප‍්‍රජාව උරුම සම්පත්, ස්මාරක සහ පූජනීය ස්ථාන සම්බන්ධයෙන් වගකිවයුතු පිරිසක් ලෙස හඳුනා ගනී.30 අව්‍යාජත්වය පිළිබඳ නාරා ලේඛනය (Nara document on authenticity 1994)31 ද ජගත් උරුමයන් සම්බන්ධයෙන් අගයන් විනිශ්චය කි‍්‍රයාත්මක කිරීමේ දී තත් සංස්කෘතික සන්දර්භය එනම් දේශීය සන්දර්භය මත පදනම්ව දේශීය නිර්ණායකයන් කෙරෙහි අවධානයෙන් එය සිදු කළ යුතු බව පෙන්වා දෙයි. මේ අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර සංරක්‍ෂණ සංකල්පය ක‍්‍රමානුකූලව දේශීය සන්දර්භ සහ ප‍්‍රාදේශීය ප‍්‍රජා පදනම කෙරෙහි නැඹුරු වෙමින් සම්මුති සම්පාදනයට යොමු වන බවකි.

වසර 2003 දී UNESCO සංවිධානය සහ ICOMOS සංවිධානය විසින් පිළිවෙළින් ආසියානු සන්දර්භය විශේෂ වූ සම්මුති 2ක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. එනම්,

  1. ආසියානු ඓතිහාසික ප‍්‍රදේශ සංරක්‍ෂණය පිළිබඳ අයිකොමොස් හොයි සම්මුතිය (ICOMOS, Hoi An declaration on conservation of historic districts of Asia, 2003)32
  2. ආසියාවේ විශිෂ්ට සංරක්‍ෂණ ක‍්‍රියාකාරකම් (UNESCO, Hoi An protoccol for best conservation  project in Asia, 2003)33

මෑතක දී කෙටුම්පත් කළ “Ename” ප‍්‍රඥප්තිය (Ename Charter)34 නැතහොත් සංස්කෘතික උරුම ක්ෂේත‍්‍ර අර්ථකථනය සහ ඉදිරිපත් කිරීම සඳහා වන අයිකොමොස් ප‍්‍රඥප්තිය (ICOMOS Charter for the interpretation and Presentation of cultural heritage sites)35 2008 අයිකොමොස් සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරිණ. ඒ තුළ ක්ෂේත‍්‍රයන්හි ස්පර්ශනීය සහ අස්පර්ශනීය උරුම අගයන් හඳුනාගන්නා අතර ප‍්‍රජා අවබෝධය ප‍්‍රවර්ධනය හා සංරක්‍ෂණ වැඩසටහන් සඳහා ප‍්‍රජා සහභාගීත්වය ප‍්‍රවර්ධනය කිරිම දිරිගන්වයි.

කෞතුකාගාර ක්ෂේත‍්‍රයේ අයිකොම් (ICOM) සංවිධානය ද අයිකොමොස් (ICOMOS) සංවිධානයේ මඟ යමින් උරුම සංචාරක ව්‍යාපාරය තුළින් උරුම සංරක්‍ෂණය, සංවර්ධනය, නඩත්තුව, අර්ථකථනය සඳහා පහසුකම් සැපයීමේ වැදගත්කම අවධාරණය කරයි. ඒ සඳහා කදිම නිදසුනකි ‘Phnom penh – Vienteane Charter on cultural diversity and heritage tourism 2006’36 උක්ත ජාත්‍යන්තර ප‍්‍රවේශයගෙන් පැහැදිලි වන්නේ උරුම භාරකරුවන් ලෙස වගකීම උරුම වෘත්තිකයන් විසින් භාරගෙන ඇතත්, උරුමය, උරුම සංරක්‍ෂණය සහ තදනුබද්ධ ප‍්‍රජාව අතර සබඳතාව තවමත් ශක්තිමත් බවයි.

වර්තමානය වන විට උරුම සංරක්‍ෂණය උදෙසා බොහෝ පාර්ශ්වකරුවන් එනම් ප‍්‍රාදේශීය හා සාමාන්‍ය ප‍්‍රජාව, ප‍්‍රාදේශීය ආයතන, උරුම වෘත්තිකයින්, සංචාරකයන් ආදීහු ඔවුන්ගේ විවිධ වූ අවශ්‍යතා සඳහා බද්ධ වී සිටිති. උක්ත පාර්ශ්වකරුවන් විසින් උරුමය විවිධාකාරයෙන් භාවිත කරනු ලැබේ. උක්ත පසුබිම තුළ විවිධ ගැටලු ආමන්ත‍්‍රණය කිරීම සඳහා උරුම කළමනාකරණ ආකෘති විවිධ නම්වලින් එනම් සංස්කෘතික සම්පත් කළමනාකරණය (Cultural Resource Management), පුරාවිද්‍යා උරුම කළමනාකරණය (Archaeological Heritage Management), සංස්කෘතික උරුම කළමනාකරණය (Cultural Heritage Management) ආදී වශයෙන් භාවිත කෙරේ. උක්ත විෂයානුබද්ධ සන්දර්භය තුළ ‘පුරාවිද්‍යාත්මක’ (Archaeological) යන්න යම් ආකාරයක පක්‍ෂපාතී ස්වභාවයක් උසුලන්නේ උරුමයේ එකම අගය පුරාවිද්‍යාත්මක අගය නොවන බැවිනි.37 සංස්කෘතික සම්පත් කළමනාකරණය යන්නෙහි “සම්පත්” යන්නෙන් මානව ප‍්‍රජාව සඳහා ප‍්‍රතිලාභ ගෙන දෙන ප‍්‍රතිලාභ ලබාගත යුතු යන අදහස සන්නිවේදනය වේ. එම සම්පත් විභවතාව උපයෝජනය සහ ග‍්‍රහණය කිරීම වරප‍්‍රසාදලත් බලධාරීන් ඉටුකරන කාර්යයක් ලෙස හැෙඟන බැවින් වඩා යෝග්‍ය වන්නේ සංස්කෘතික උරුම කළමනාකරණය නැතහොත් උරුම කළමනාකරණය (Heritage Management) යන සංකල්පීය ප‍්‍රවේශයයි. වර්තමානය වන විට උක්ත විෂයන්ගේ ප‍්‍රධාන විෂයානුබද්ධ තේමාවක් වී ඇත්තේ විවිධ අවශ්‍යතා අතර සංරක්‍ෂණ අවශ්‍යතා, නැතහොත් සංරක්‍ෂණ විද්‍යාවේ අවශ්‍යතා, දේශීය හා ප‍්‍රාදේශීය ප‍්‍රජා අවශ්‍යතා, දේශීය හා විදේශීය සංචාරක අවශ්‍යතා අතර තුලනය මුදුන්පමුණුවා ගැනීම නැතහොත් තිරසර කළමනාකරණය සාධනය කර ගැනීම ය.

උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය අතර සබඳතාව

පසුගිය දශක තුනක පමණ කාලය තුළ සිදු කළ බොහෝ පර්යේෂණවල දී විද්වතුන්ගේ අවධානය යොමු වූ ප‍්‍රධාන කරුණක් නම් සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ පාර්ශ්වකරුවන් සහ සෙසු පාර්ශ්වකරුවන් අතර පවතින සබඳතාවෙහි ස්වරූපය අධ්‍යයනයයි. මේ සම්බන්ධයෙන් වැදගත් වන පර්යේෂණ රැසකි. ඒ අතර බුඩොව්ස්කි (Budowski 1976)38, කොපෝක් (Coppock 1982)39, ඇන්ඩර්සන් සහ බ‍්‍රවුන් (Anderson and Brown 1984)40 මැතිසන් සහ වෝල් (Mathieson and Wall 1982),41 රොමේරිල් (Romeril 1989),42 බට්ලර් (),43 ජැක්සන් සහ වොන්ග් (Jackson and Wong 1982),44 මාර්ෂ් (Marsh 1986),45 මැඩි‍්‍රගල් (Madrigal 1993)46 දානා (Dana 1999)47 අබාකර්ලි (Abakerli 2001)48 වැන්නවුන්ගේ පර්යේෂණ වැදගත් වේ. මීට දශක එක හමාරකට පමණ පෙර විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත‍්‍රයක් නම් සංචාරක ව්‍යාපාරය සහ උරුම කළමනාකරණයේ දී ප‍්‍රජා මැදිහත් වීමයි.49 සංචාරක ව්‍යාපාරය සහ උරුම කළමනාකරණය පිළිබඳ උක්ත සියලු පර්යේෂණ වලින් පැහැදිලි වන යථාර්ථයක් වනුයේ එම දෙපාර්ශ්වය අතර පැවතිය හැකි සබඳතාවන් ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකක් විය හැකි බවයි. එනම්,

  1. විඝටනාත්මක සබඳතාවන් (Conflict relationships)
  2. සහයෝගීතා නැතහොත් අන්‍යෝන්‍ය සහජීවන සබඳතාවන් (Co-operation relationships)

විඝටනාත්මක සබඳතාව අවධාරණය කරන පාර්ශ්වය පෙන්වා දෙන්නේ ප‍්‍රස්තුත කාරණාද්වය එකිනෙකට නොගැළපෙන සබඳතාවකින් සමන්විත බවයි.50 මොවුන්ගේ තර්කය වන්නේ මේ සඳහා සම්බන්ධ වන පාර්ශ්වකරුවන් දෙ පිරිසගේ අගයන් සහ අරමුණු ඔවුනොවුන්ට වෙනස් වන බව ය (රූප සටහන 3). සාම්ප‍්‍රදායිකව උරුම කළමනාකරණ ක්ෂේත‍්‍රයේ නිරත පාර්ශ්වකරුවන් සංස්කෘතික උරුම සම්පත් සංරක්‍ෂණය සහ ඉදිරිපත් කිරීම සිය වගකීම කොට සලකන අතර සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් විභවතා සහිත නිෂ්පාදිතයක් ලෙස සංවර්ධනය සහ ප‍්‍රවර්ධන කාර්යයෙහි නිරත වේ.

උරුම සංරක්‍ෂණයේ නිරත වූවන් සංරක්‍ෂණවාදී දෘෂ්ටිකෝණයෙන් සංචාරක ව්‍යාපාරය දෙස බලන්නේ සංස්කෘතික අගයන් වාණිජ පරමාර්ථ උදෙසා කැප කිරීමක් ලෙස ය. එසේම සංචාරක පාර්ශ්වය තර්ක කරන්නේ සමහර අවස්ථාවල ආර්ථිකමය අරමුණු පදනම් කරගත්, එසේම සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීමේ අරමුණින් සිදු කෙරෙන සංරක්‍ෂණයන් ද උරුම කළමනාකරණය තුළ සිදුවන බවයි.

මේ අයුරින් දෙ පිරිස අන්‍යෝන්‍ය ලෙස ප‍්‍රතිවිරුද්ධ දර්ශනයන් දෙකක සිට කටයුතු කිරීම නිසා නොගැළපීම හේතුවෙන් ඇතිවන ගැටුම් සබඳතාව නොවැළැක්විය හැකි බවයි.

රූප සටහන 3 – උරුම කළමනාකරණය හා සංචාරක කර්මාන්තය අතර සබඳතාව51

ඒ අනුව, අරමුණු නොගැළපීම හේතුවෙන් අගයන් අතර ගැටුම (Value clash) ඇති වේ. කර් (Kerr 1994)52 නිරීක්‍ෂණය කරන පරිදි ‘ණසංරක්‍ෂණය සඳහා යෝග්‍ය වන දෙය අත්‍යවශ්‍යයෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා ඉතා විරල වශයෙන් යෝග්‍ය වන්නේය’.

විවිධ විද්වතුන් ගැටුම්කාරී තත්වයන් ඇතිවිය හැකි අවස්ථා එකිනෙකට වෙනස් සාධක මත හඳුනා ගනී. උදාහරණ,

  • බලය – බලය රහිත වීම (Abakerli 2001)53
  • සංරක්‍ෂණය – සංවර්ධනය
  • ආර්ථික ප‍්‍රතිලාභ – සමාජ සංස්කෘතික සහ පාරිසරික හායනය (Markwick 2000)54
  • අභ්‍යන්තර වාසීන් – බාහිර වැසියන් (Chang 2000)55

උක්ත විඝටනාත්මක සබඳතාවන් සඳහා කාලය ද වැදගත් සාධකයකි. එනම් ආරම්භයේ දී ඉතා ධනාත්මක තත්වයේ සිට ඍණාත්මක නැතහොත් ගැටුම්කාරී දිශාවට දෝලනය වීම සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ වෙතත් මෙම ගැටුම් සංකල්පය (Conflict Theory) සෑම සංස්කෘතික ක්ෂේත‍්‍රයක් සඳහාම අදාළ නොවේ. එය වෙනත් සාධක මත තීරණය වේ. එනම් ක්ෂේත‍්‍රයේ ග‍්‍රාමීය – නාගරික පිහිටීම, මුහුකුරා ගිය නොගිය බව වැනි සාධක ද ඒ සඳහා වැදගත් වේ.

සහයෝගීතා සබඳතාව (Co-operation relationship) පෙන්වන පාර්ශ්වය අවධාරණය කරන්නේ උරුම සම්පත් බෙදාහදා ගැනීම තුළ අන්‍යෝන්‍ය ලෙස ප‍්‍රතිලාභ උදා කර ගත හැකි පරිසරයක් සඳහා අවකාශයක් නිර්මාණය වන බවයි. පාර්ශ්වකරුවන් සීමා සහිත වූ තරමට සහ ඔවුන්ගේ ඇගයීම් සමාන වූ තරමට සාමකාමී සහජීවන සබඳතාවට මග පාදයි. උරුම සංචාරක ව්‍යාපාරය (Heritage Tourism) හරහා ප‍්‍රජාවට සිය ඉතිහාසය, සංස්කෘතික මූලයන් පිළිබඳ හැඟීමක් දනවමින් ඒම උරුම සම්පත් සංචාරක ආකර්ෂණයන් බවට පත් කරමින් කලාපීය සහ ගෝලීය ලෙස ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික අනන්‍යතාව පිළිබඳ පණිවිඩය ගෙන යාම සඳහා සංචාරක ව්‍යාපාරය ප‍්‍රබල බලවේගයක් කරගත හැකි හෙයින් ඒවා සංචාරක ව්‍යාපාරයෙන්ම සංරක්‍ෂණය කළ යුතු වේ.56

එබැවින් මේ දෙපාර්ශ්වය අතර පවතින ද්විප‍්‍රකාරය උරුම කළමනාකරණයට මෙන්ම සංස්කෘතික සංචාරක ව්‍යාපාරයට ද කේන්ද්‍රීය ගැටලුවක් බවට පත් වී ඇති අතර, තිරසාරභාවය සාක්ෂාත් කරගැනීමෙහි ලා බාධාවක් ද වී ඇත.

උරුම කළමනාකරණයේ අභිප‍්‍රායන් මෙන්ම විෂයාත්මක අරමුණු සංචාරක ව්‍යාපාරයේ අභිප‍්‍රායන්ගෙන් සහ විෂයාත්මක අරමුණුවලින් වෙනස් වන අතර සමහර විට විඝටනාත්මක වේ. එය එසේ නම් සංස්කෘතික උරුම ක්ෂේත‍්‍රයන් ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ ඇයි? ඒ සඳහා ද සහේතුක සාධාරණීකරණයන් පවතී. ඒවා ආර්ථික, දේශපාලන, ප‍්‍රජා සහ සංචාරක දෘෂ්ටිකෝණයන්ගෙන් විමසා බැලිය හැකිය.

ආර්ථිකමය සාධාරණීකරණය

බොහෝ අවස්ථාවල උරුම ස්ථානයන්හි වාණිජමය භාවිතාව යහපත් මට්ටමක නොපවතියි. බොහෝ විට එම ස්ථාන රඳා පවතින්නේ රාජ්‍ය ප‍්‍රතිපාදන, පෞද්ගලික අංශයේ අනුග‍්‍රහයන්, ආධාර, ප‍්‍රදාන, පුණ්‍යාධාර සංගම්, පරිත්‍යාග ආදිය මතය.57 එහෙත් උක්ත ප‍්‍රතිපාදන සීමා සහිත පසුබිම තුළ විකල්ප මූල්‍ය ජනන ක‍්‍රමවේද කෙරෙහි යොමුවීමට සිදු වේ. එහි දී සංචාරක ව්‍යාපාරය ආදායම් මාර්ගයක් බවට පත්වන්නේ නිරායාසයෙනි.58

දේශපාලනමය සාධාරණීකරණය

ජාතික තලයේ දේශපාලනයේ රටේ උරුමය සුරැකීම සඳහා මතුවන හඬ රාජ්‍ය පාලකයින්ට මග හැර යා නොහැකි අභියෝගයකි. සංස්කෘතික උරුමයන්ගේ සංරක්‍ෂණ අවශ්‍යතාව සෑම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක ම ප‍්‍රමුඛතා කාර්යයක් සේ විස්තර කරතත්, ජාතික අයවැයෙන් අඩු වැය ශීර්ෂයක් මෙන්ම කප්පාදුවක් කළ යුතු විට ප‍්‍රමුඛව ඊට යටත් වන අංශයක් ද වීම සාමාන්‍ය තත්ත්වයකි. සංචාරක ව්‍යාපාරය තුළින් ස්ථානීය සංරක්‍ෂණ මෙන්ම ක්ෂේත‍්‍රය තුළ සහ අවට පදිංචිකරුවන්ගේ ජිවන මට්ටම නගා සිටුවිය හැකිය. ඒ තුළින් පදිංචිකරුවන්ගේ සහයෝගය ද උරුම සංරක්‍ෂණය සඳහා ලබාගත හැකි වේ. සංචාරක ව්‍යාපාරයේ ඉහළ වර්ධනය අවධාරණය කරමින් සංස්කෘතික උරුම ක්ෂේත‍්‍ර සංරක්‍ෂණය එහි දී දේශපාලන වශයෙන් සාධාරණීකරණය කරමින් රාජ්‍ය අංශයේ මුදල් ආරක්‍ෂා කර ගැනීමට බොහෝ රාජ්‍ය ආයතන සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සඳහා ඉහළ ඉල්ලුම මුවාවෙන් කටයුතු කෙරේ. සංචාරක ව්‍යාපාරය මුවාවෙන් නාගරික ක්ෂේත‍්‍රවල පැරණි ගොඩනැඟිලි, කෞතුකාගාර, අවන්හල්, හෝටල්, සමාජ ශාලා බවට පරිවර්තනය කිරීම හා එම කටයුතු සාධාරණීකරණය බහුලව දැකගත හැකි ය.

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණය තුළ ස්ථානගත වූ ජගත් උරුම ස්ථානයන්ගේ විවිධතාව, උරුම සම්පත්වල විවිධතාව, පාර්ශ්වකරුවන්ගේ සහ කළමනාකරණ ව්‍යූහයන්හි විවිධතාව, උරුම සංරක්‍ෂණයේ, කළමනාකරණයේ සහ සංචාරක ව්‍යාපාර සංවර්ධනයේ විවිධ අවස්ථාවල පසුවීම ආදිය පදනම් කරගත් සංකීර්ණ තත්ත්වය අධ්‍යයනය කිරීම හරහා උරුම කළමනාකරණයේ, සංචාරක ව්‍යාපාරයේ සහ ප‍්‍රාදේශීය ප‍්‍රජාව අතර පවත්නා වූ සබඳතාවේ යථා තත්ත්වය යම් ප‍්‍රමාණයකට හඳුනා ගැනීම මෙම අධ්‍යයනය තුළින් අපේක්‍ෂා කෙරේ. එහි දී විඝටනාත්මක සබඳතාව සහ අන්‍යෝන්‍ය සහයෝගීතා සබඳතාව සංස්කෘතික ත‍්‍රිකෝණයේ පූජනීය ක්ෂේත‍්‍රවල කවර ආකාරයකින් කි‍්‍රයාත්මක වන්නේ ද යන්න විමසා බැලීම වැදගත් කොට සැළකේ.

උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාරය

උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාරය අවියෝජනීය ලෙස අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වූ සංකල්ප ද්වයයකි. සංචාරක කර්මාන්තය ස්වාභාවික හා නිර්මිත පරිසරාත්මක කරුණු මත රඳා පවතින්නකි. සංස්කෘතික හා උරුම සංචාරක ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීත්වය පරමාදර්ශී ලෙස ක‍්‍රියාත්මක විය යුත්තේ අද්විතීය උරුම සම්පත් සංරක්‍ෂණයට ප‍්‍රමුඛත්වය ලබාදෙන උරුම කළමනාකරණ සන්දර්භයක් තුළය.

උරුමයේ දෘශ්‍යමය සහ වැදගත් ආර්ථික භාවිතාව සංචාරක ව්‍යාපාරය වන බැවින් සංචාරක ව්‍යාපාරය පුළුල් ලෙස විෂයානුබද්ධව නිර්වචනය කිරීම වැදගත්ය. සංචාරක ව්‍යාපාරයට විශ්වීය භාවිතාවක් හා පිළිගැනීමක් සහිත නිර්වචනයක් නොමැති මුත්, විවිධ නිර්ණායකයන් මත පදනම්ව, විවිධ අවධාරණයන් සහිතව සංචාරක කර්මාන්තය නිර්වචනය කළ හැකිය. සාම්ප‍්‍රදායිකව සංචාරක ව්‍යාපාරය නිර්වචනය කරන්නේ “මිනිසුන් සිය සුපුරුදු වාසස්ථානයෙන් හෝ සේවා ස්ථානයෙන් බැහැරව ගමනාන්තයක් / ක්ෂේත‍්‍රයක් කරා සංචාරය කිරීම හා මෙම සංචාරය පිණිස ඇතිවන අවශ්‍යතා හා පහසුකම් සම්පාදනය කිරීම යනුවෙනි.59 මෙම නිර්වචනය තවදුරටත් වර්ධනය කරන යුරෝපානු කොමිසම (2002) (European Commission) වඩා නිශ්චිතව ප‍්‍රකාශ කරන්නේ මිනිසුන් සිය සුපුරුදු පරිසරයෙන් බැහැරව විනෝදය, ව්‍යාපාර සහ වෙනත් පරමාර්ථ සඳහා එක දිගට වසරකට නොවැඩි කලක් කටයුතුවල යෙදීම ලෙස ය.

සංස්කෘතික සංචාරක ව්‍යාපාරය (Cultural Tourism) යන්නට ද විශ්වීය වශයෙන් බලගතු නිර්වචනයක් සැපයීම අසීරුය.60 උරුම සංචාරක ව්‍යාපාරය (Heritage Tourism), කලා සංචාරක ව්‍යාපාරය (Art Tourism), ස්වදේශීය සංචාරක ව්‍යාපාරය (Indiginous Tourism) ආදී සියලු ක්ෂේත‍්‍ර සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළින් ආවරණය වේ. රිචර්ඩ් (Richards 2001) යෝජනා කරන පරිදි සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළින් අතීත සංස්කෘතික නිර්මාණ අත්විඳීම පමණක් නොව යම් ජන කණ්ඩායමක හෝ ප‍්‍රදේශයක සමකාලීන සංස්කෘතිය හෝ ජීවන රටාව අත්විඳීම ද වේ. එබැවින් සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළට අතීත පුරාකෘති සම්බන්ධ උරුම සංචාරක ව්‍යාපාරය (Heritage Tourism) සහ සමකාලීන සංස්කෘතික නිර්මාණයන් සම්බන්ධ කල, සංචාරක ව්‍යාපාරය (Art Tourism) ද ඇතුළත් වේ.

උක්ත නිර්වචනයට අනුව යම්කිසි ස්ථානයක ප‍්‍රජාවකගේ අතීත සහ වර්තමාන උරුමය සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළින් ආවරණය වේ. Zeppel සහ Hall61 උරුම සංචාරක ව්‍යාපාරය සහ කලා සංචාරක ව්‍යාපාරය සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ අනු ශාඛා ලෙස සලකයි. මෙහි සඳහන් උරුමය සහ කලා අංග අවියෝජනීය ලෙස එකිනෙකට බද්ධ වූ සංකල්ප වන හෙයින් ඒ දෙකෙහි වෙනස හඳුනා ගැනීම තරමක් අසීරුය.

Yale (1991)62 සඳහන් කරන අන්දමට උරුම සංචාරක ව්‍යාපාරය යනු හුදෙක් අප උරුම කරගත් දෑ එනම් ඓතිහාසික වැදගත්කමක් සහිත ගොඩනැඟීලි, කලා කෘති, විසිතුරු භූමි දර්ශන ආදී දෑ පදනම් කරගත්තකි. ලෝක සංචාරක සංවිධානය (WTO) ට අනුව කිසියම් රටක, ප‍්‍රදේශයක හෝ ස්ථානයක ඉතිහාසය, මානව උරුමය, කලාව, දර්ශනය සහ ආයතන පිළිබඳ වූවකි. මෙම නිර්වචනය සාපේක්‍ෂව අසම්පූර්ණය.

උරුම සංචාරක ව්‍යාපාරය සංකල්පගත කරන Poria et al. (2001)63 එය සංචාරක ව්‍යාපාරයේ ශාඛාවක් ලෙස සඳහන් කරමින් කිසියම් ස්ථානයක් බද්ධ වූ සිය උරුමය සංචාරකයාගේ දෘෂ්ටිකෝණය පදනම් කර ගනිමින් නැරඹීම බව පවසයි. එක් අතකින් මෙම අර්ථ දැක්වීම සංචාරක ව්‍යාපාරයේ පරමාර්ථ සඳහා උරුමය අර්ථකථනයේ දී වැදගත් වන නමුත් එම නිර්වචනය ද සංචාරක ඉල්ලුම් පාර්ශ්වය නියෝජනය කරන්නක් පමණක් වන බැවින් එමගින් සංචාරක ව්‍යාපාරයේ දී උරුම සංචාරක අත්දැකීම සපයන අංශයේ දෘෂ්ටිකෝණය නොසලකා හැරීම නිසා Garrod සහ Fyall ඨ්රරදා  ත්‍හ්කක (2001)64 ගේ විවේචනයට ලක් වී ඇත. උක්ත විවේචකයින් දෙදෙනාගේ විවේචනය ඉතා වැදගත් වන්නේ ක්ෂේත‍්‍රයක උරුමය අර්ථකථනය හුදෙක් ජනප‍්‍රිය සංචාරක ඉල්ලීම මත නොව උරුම සම්පත් පදනම්ව සිදුවිය යුතු බව අවධාරණය කරන බැවිනි. Silberberg (1995)65 ක්ෂේත‍්‍රයේ ප‍්‍රජාව කෙරෙහි අවධානය යොමුකරමින් කිසියම් ජන කණ්ඩායමක, ප‍්‍රදේශයක හෝ ආයතනයක ඓතිහාසික, කලාත්මක, විද්‍යාත්මක උරුමයන් කෙරෙහි රුචිකත්වයෙන් පෙලඹී නැරඹීමට පැමිණීම ලෙස දක්වයි.

Laws සහ Pan  (2004)66 දෙ දෙනා තර්ක කරන්නේ උරුමය ද්විත්වකාර්යයක් ඉටුකළ යුතු බවයි. එනම් ක්ෂේත‍්‍රයන්ට සංචාරකයන් ආකර්ෂණය කරගන්නා අතරතුර තත් ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ සමාජ සංස්කෘතික අභිප‍්‍රායන් ද ඉටු කළයුතු බවයි. මෙහි සංක්‍ෂිප්ත අර්ථය නම් උරුම සංචාරක ව්‍යාපාරය සත්කාරක ප‍්‍රජාව සඳහා ආර්ථික ප‍්‍රතිලාභ උදා කළ යුතු අතර, ඔවුනට ඔවුන්ගේ උරුමය සහ ගතික සම්ප‍්‍රදායයන් සංරක්‍ෂණයට සහ උරුම කළමනාකරණයට උත්තේජනයක් ද ලබා දිය යුතු බවයි. සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රාදේශීය ප‍්‍රජා බලපෑම් කෙරෙහි අවධානය යොමු කරන Jafari (1977)67 ද සංචාරක ව්‍යාපාරය තුළින් ප‍්‍රජා යහසාධනය සිදු විය යුතු බව අවධාරණය කරයි.

මේ අනුව උරුම සංචාරක ව්‍යාපාරය උරුම සම්පත් සංරක්‍ෂණයට මෙන් ම ප‍්‍රජා යහසාධනයට දායක වන ව්‍යාපාරයක් විය යුතු අතර තිරසාර උරුම කළමනාකරණය තුළින් ද අපේක්‍ෂා කරනුයේ උක්ත සංයෝගී සබඳතාවයි. සංස්කෘතික හා උරුම සංචාරක ව්‍යාපාරය පිළිබඳ උක්ත සංකල්පමය ප‍්‍රවේශය සාරාංශගත කිරීමේ දී එහි ප‍්‍රධාන ලක්‍ෂණ කීපයක් අවධාරණය කිරීම වැදගත් වේ.

උරුම සංචාරක ව්‍යාපාරය,

  • ස්වාභාවික හා සංස්කෘතික සම්පත් පදනම් වී පවතී
  • කිිසියම් අද්විතීය ක්ෂේත‍්‍රයක ස්වාභාවික හෝ ඓතිහාසික ආකර්ෂණීය ගුණාංග පදනම් කොට සංචාරක අත්දැකීමක් සපයයි
  • උරුම සම්පත් සංරක්‍ෂණයට දායක වෙමින් සංචාරකයින්, නරඹන්නන්, උරුම සංරක්‍ෂකයින්, කළමනාකරුවන්, ප‍්‍රාදේශීය ප‍්‍රජාව සඳහා උරුම සංරක්‍ෂණය පිළිබඳව අවබෝධය වර්ධනය කිරීමට අධ්‍යාපනමය කාර්යයක් ඉටු කරයි
  • ප‍්‍රාදේශීය ප‍්‍රජාවට ආර්ථික ප‍්‍රතිලාභ ජනිත කරමින් ඔවුනට ඔවුන්ගේ සම්ප‍්‍රදායන්, සංස්කෘතික අනන්‍යතාවන් පවත්වාගෙන යාමට උපකාරී වේ

උරුම සංචාරක ව්‍යාපාරය පසුගිය දශක කීපය තුළ ශීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. ලෝක සංචාරක සංවිධානයේ අනාවැකි වලට අනුව 2020 වන විට ලෝකයේ දෙ වන ඉතාමත් වැදගත් ගමනාන්තයක් බවට ආසියා පැසිපික් කලාපය පත් වේ. මෙම කලාපයේ උරුම සංචාරක ව්‍යාපාරය දියුණු වන රටවලට ආවේණික වූ ගැටලුවලින් සමන්විතය. උක්ත සන්දර්භය තුළ ශ‍්‍රී ලංකාවට ද වැදගත් තැනක් හිමි වේ.

සංචාරක ව්‍යාපාරයේ අන් සියලුම ක්ෂේත‍්‍රයන්ට වඩා උරුම සංචාරක ව්‍යාපාරය ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ක්ෂේත‍්‍රයක් වන අතර, විශේෂයෙන් සංවර්ධනය වන රටවල දුප්පත්කම දුරලීම හා ආර්ථික සංවර්ධනය උදෙසා උරුම සම්පත් සංරක්‍ෂණය විභවතාවක් සහිත යාන්ත‍්‍රණයකි (UNWTO 2005)68.

පසුගිය දශක දෙක තුළ උරුම සංචාරක ක්ෂේත‍්‍රයේ සිදුකරන ලද අධ්‍යයන පර්යේෂණවල පොදු පිළිගැනීමක් වන්නේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක ව්‍යාපාරය හා එහි බලපෑම් මෙන් ම ගැටලු කළමනාකරණ ක‍්‍රමවේදයන් ද එකිනෙකට වෙනස් බවය. උක්ත වෙනස්කම් මූලික වශයෙන් ආර්ථික, දේශපාලන, ප‍්‍රායෝගික සංරක්‍ෂණ ක‍්‍රියාකාරකම්, නෛතික පැනවීම්, නාගරීකරණය, යටත් විජිතකරණය ආදී කරුණු මත වේග ලෝකයේ සංවර්ධනය වන කලාපය සැලකීමේ දී උරුම සංචාරක ව්‍යාපාරය සම්බන්ධ ප‍්‍රශස්ත මට්ටමේ පර්යේෂණවල ඌනතාවක් ද පවතින බැවින් එම කලාපයේ අද්විතීය උරුම ක්ෂේත‍්‍රවල සංරක්‍ෂණය, සංවර්ධනය සහ දිගු කාලීන තිරසාරභාවය වෙනුවෙන් මෙකී දැනුම අත්‍යවශ්‍ය වේ.69

පසුගිය දශක එකහමාරක කාලය (1990-2005) සැලකීමේ දී දියුණු රටවල්වල සහ දියුණුවන රටවලට කරන ලද සංචාරණයේ වර්ධනය වාර්ෂිකව 6.5% වේගයෙන් වර්ධනය වන විට එය සංවර්ධිත රටවල 3% ටත් අඩුය. මෙම සංවර්ධනයට හේතු වූ කරුණු රැසකි. සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරණය සඳහා ඇති වූ සුභවාදී වාතාවරණය, අන්තර්ජාතික සබඳතා වර්ධනය වීම, සංචාරක ක්ෂේත‍්‍රයට ලබා දුන් ප‍්‍රමුඛතාව ආදිය ඒ අතර වේ. මෙකී වර්ධනයට ඍජු හේතුවක් වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයේ දී සංස්කෘතික උරුම සම්පත් සඳහා වූ ඉල්ලුමයි. දළ වශයෙන් යුනෙස්කෝ ජගත් උරුම ක්ෂේත‍්‍රයන්ගෙන් 60%ක් ස්ථානගත වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය.70 පූජනීය උරුම ක්ෂේත‍්‍ර හා බද්ධ වූ ආගමික සංචාරක ව්‍යාපාරය නැතහොත් වන්දනා ගමන් (Pilgrimage) මෙම රටවල අතිශයින් ප‍්‍රචලිතය. මෙම ආධ්‍යාත්මික වන්දනා සංචාරය බහුවිධ පරමාර්ථ සහිතව එනම්, කුසල් රැස් කිරීම, දෙවියන්ට සමීප වීම, පව් සමා කරගැනීම, ස්ථානයන්හි අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම පදනම්ව සිදු කෙරේ.71 මෙබඳු සංචාරණයන් දකුණු ආසියානු, මැද පෙරදිග සහ අග්නිදිග ආසියානු රටවල ප‍්‍රධාන ආගම්වන බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම සහ ක‍්‍රිස්තියානි ආගම් මගින් දිරි ගන්වනු ලැබේ. මෙකී සංචාරණය තුළ නැරඹීමට බඳුන්වන ස්ථාන උරුමස්ථානයන්ය. එසේම සිදුකරනු ලබන නේකවිධ ආගමික ක‍්‍රියාකාරකම් ද අස්පර්ශනීය උරුමයේ නියෝජනයන්ය.

ජීවමාන සංස්කෘතික සම්පත් ද මෙම කලාපයේ දියුණු වෙමින් පවතින රටවල විශේෂ සංස්කෘතික ආකර්ෂණයන්ය. කෘෂි භූ දර්ශන, කෘෂිකාර්මික ජීවන රටාව, අත්කම්, සුළු කලා ශිල්ප, පැරණි ගම්, භාෂාවන්, සංගීත සම්ප‍්‍රදායන්, ආගමික අභිචාර හා සංස්කෘතික උත්සව ද ඒ අතර වේ.72

ඓතිහාසික නගර සහ නිර්මිත උරුමය ද සංවර්ධනය වෙමින් පවත්නා රටවල වැදගත් උරුම සංචාරක සම්පත් වී ඇත. කාර්මීකරණයට බඳුන් නොවූ ආසියානු, අප‍්‍රිකානු, මැද පෙරදිග, ලතින් ඇමරිකානු කලාපවල දේශීය සහ යටත්විජිතකරණයේ බලපෑමට ලක් වූ බොහොමයක් නගර ලෝක ප‍්‍රකට ගමනාන්තයන් වී ඇත. ශී‍්‍ර ලංකාවේ කොළඹ, ගාල්ල සහ මහනුවර එබඳු නගර කිහිපයකි.

මෙම රටවල උරුමය සහ සංචාරක ව්‍යාපාරය ඒකාබද්ධ වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෑත කාලීනව වැදගත් ප‍්‍රවණතා රැසක් ජනිත වී ඇත. ඒ අතර උරුම සංචාරක ව්‍යාපාරය තුළින් දුප්පත්කම පිටු දැකීමේ ප‍්‍රවණතාවක් උදා වී ඇත. සාම්ප‍්‍රදායිකව දුගී පුරවැසියන් සැලසුම්කරණයෙන්, ප‍්‍රතිපත්ති සම්පාදනයෙන් සහ සංවර්ධන ක‍්‍රියාවලියෙන් වියුක්ත කර තැබුවත්, මෑත කාලීනව ඔවුන්ගේ සහභාගීත්වය තුළින් සංයුක්ත සංචාරක සංවර්ධන වැඩසටහන් හරහා ප‍්‍රජා ශුභසිද්ධිය ඉලක්ක කරගත් ක‍්‍රියාමාර්ග කෙරෙහි යොමු වනු දැකගත හැකි ය.

එසේම දියුණු වෙමින් පවතින රටවල් හැකිතාක් උරුම ක්ෂේත‍්‍ර ජගත් උරුම ලේඛනයට ඇතුළත් කිරීම තුළින් ප‍්‍රතිලාභ අත්පත් කරගැනීමේ ප‍්‍රවණතාවක් ද උදා වී ඇත. මෙම ජගත් උරුම ලේබලය හරහා තත් රාජ්‍යවල උරුම ක්ෂේත‍්‍ර සංරක්‍ෂණය සහ කළමනාකරණය සඳහා මූල්‍යමය හා තාක්‍ෂණික ජාත්‍යන්තර සහාය ලබාගැනීමට මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා ක්ෂේත‍්‍ර ප‍්‍රවර්ධනය කිරීමට ද අවස්ථාව සැලසී ඇත.73

දියුණු වෙමින් පවතින රටවල ලෝක උරුම සංකල්පයේ සහ උරුම සංචාරක ව්‍යාපාරයේ මැදිහත්වීම හේතුවෙන් සංස්කෘතික උරුම සම්පත්වල සංරක්‍ෂණය සහ තත් ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ ජීවන මට්ටමේ ගුණාත්මකභාවය සම්බන්ධ දෘෂ්ටිකෝණයන්ගෙන් විමසා බලන විට ධනාත්මක මෙන්ම ඍණාත්මක ලෙස ද බලපෑම් එල්ල කර ඇති බව පෙනේ. ජගත් අනන්‍යතාව හා සංචාරක ව්‍යාපාරය පදනම්ව දේශීය උරුම ක්ෂේත‍්‍ර තුළ පහත සඳහන් ගැටලු නිර්මාණය වී ඇත.

උරුමයේ ජගත් හා දේශීය අර්ථ මත පදනම් වූ ගැටලු

Black සහ Wall (2001)74 සඳහන් කරන අන්දමට උරුමයේ අර්ථය සම්බන්ධයෙන් ජගත් ආයතන සහ දේශීය ප‍්‍රජාව දරන අදහස්වල විඝටනය වෙන කිසිදාකටත් වඩා උග‍්‍ර වී ඇත. මෙම ගැටලුව සඳහා හේතු වී ඇත්තේ උරුමය තෝරාගැනීමේ (Selection) පදනම, එම උරුමය සංරක්‍ෂණය (Conservation) කිරීමේ ක‍්‍රමවේද, මූලධර්ම සහ එහි ඉදිරිපත් කිරීමේ (Presentation) ක‍්‍රමවේදයයි. බොහෝ රටවල තත්ත්වයන් අධ්‍යයනය කර බලන විට, උරුමයේ අගය සම්බන්ධයෙන් විශේෂ වෘත්තිකයන්, රාජ්‍ය නිලධාරීන් තේරුම් ගන්නා ආකාරය සහ ප‍්‍රාදේශීය ප‍්‍රජාව ඒ සඳහා ආරෝපණය කරන අගයන් අතර වෙනසක් පවතී. බොහෝ විට සංරක්ෂණමය මැදිහත්වීම් හරහා ප‍්‍රාදේශීය අගයන් නොසලකා හැරීමට ලක් කර ඇත. ක්ෂේත‍්‍රයක හෝ ස්මාරකයක අගය ඒ අවට ජීවත්වන ප‍්‍රාදේශීය ජනතාවට වඩා වෙනත් රටක හෝ ප‍්‍රදේශයක විශේෂඥයින් විසින් නිර්වචනය කිරීමට යාම තුළ එහි අර්ථයන් ගිලිහී යා හැකිය.75

Harrison (2005)76 මෙක්සිකෝව, කාම්බෝජය, වියට්නාමය හා ඉන්දියාව ආදී රටවල් පිළිබඳව අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ ජගත් උරුම අර්ථය යුනෙස්කෝ ආයතනය සහ ජාතික මට්ටමේ සංචාරක ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ආයතන විසින් තේරුම් ගන්නා ආකාරයට වඩා තත් ප‍්‍රාදේශීය ප‍්‍රජාව තේරුම් ගන්නා ආකාරය වෙනස් බවයි. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක ව්‍යාපාරය ජාතික ආදායමේ විශේෂ සම්පතක් වන අවස්ථාවල දී ආර්ථිකමය වාසි සලකා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට යාමේ දී සහ උරුමය දේශපාලනීකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජාතික අනන්‍යතාව ප‍්‍රවර්ධනය සඳහා සංස්කෘතීන් මත අගයන් ආරෝපණය කිරීමට යාම තුළ උක්ත තත්ත්වය තවදුරටත් උග‍්‍ර විය හැකිය.77 මෙබඳු වාතාවරණයක් තුළ ප‍්‍රාදේශීය ප‍්‍රජාව සිය උරුමය මත තබා ඇති අගයන්, වටිනාකම් සහ අර්ථයන් වගකිවයුත්තන් විසින් සිතාමතාම නොසලකා හැරීමට ලක් කිරීමක් සිදු වෙමින් පවතී.

අවකාශීය අර්බුදය

බොහෝ ජගත් උරුම ක්ෂේත‍්‍රවල සිදුවන ක‍්‍රියාදාමයක් නම් උරුම සංරක්‍ෂණයේ හා සංචාරක පහසුකම් සංවර්ධනයේ අවශ්‍යතා සඳහා තත් ක්ෂේත‍්‍රයන්හි හාත්පස ප‍්‍රජාව විතැන් කිරීමය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සාම්ප‍්‍රදායික ජීවන රටාව වෙනස් වීම, සංචාරක ව්‍යාපාරයේ යෙදීමෙන් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවකාශය අහිමි වීම, උරුම ක්ෂේත‍්‍රය හා පැවති අන්‍යෝන්‍ය සංස්කෘතික සබඳතාවට හානි පැමිණීම සිදු වේ. සිය සාම්ප‍්‍රදායික භූමි අහිමි වීම, ජීවන රටාව වෙනස්වීම වෙනුවෙන් නැවත පදිංචි කිරීම් සඳහා ප‍්‍රමාණවත් වන්දි මුදල් නොලැබීම සහ විකල්පීය ජීවන මාර්ගයක් සොයා ගැනීමට අපහසු වීම නිසා මෙම ප‍්‍රජාව තුළ අසහනය සහ කළකිරීම මතුවීම නොවැළැක්විය හැකිය. මෙබඳු පසුබිම් වලදී උරුම ක්ෂේත‍්‍රයන්ට තර්ජනයක් වන අසම්මත හැසිරීම් දක්වා ගමන් කිරීමට ඉඩ තිබේ. උදාහරණ ලෙස ස්මාරක ශේෂ අතුගා දැමීම, විතැන් කිරීම, ඉදිකිරීම් සඳහා භාවිත කිරීම වැනි ක‍්‍රියාකාරකම් මගින් සිතාමතා උරුමයට එරෙහිව කටයුතු කිරීම් දැක්විය හැකිය. අවකාශීය අරගලය තවදුරටත් උග‍්‍ර වන්නේ සංස්කෘතික උරුම ක්ෂේත‍්‍ර, වර්ධනය වන ජනගහනය සහ භූමි පරිභෝජන රටාවන් අතර සීමිත අවකාශය සඳහා වන තරගයේදී ය. මේ පිළිබඳව ශ‍්‍රී ලාංකේය සන්දර්භය පසුවට සාකච්ඡා කෙරේ.

ආයතනමය ධාරිතාවේ දුබලතාව

බොහෝ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් උරුම සැලසුම්කරණයේ දී ඉහළ සිට පහළට (Top – down) සිදුකෙරෙන ප‍්‍රවේශය අනුගමනය කරමින් සිටී. මෙයට හේතු වී ඇත්තේ උක්ත ප‍්‍රවේශය ප‍්‍රිය කරන කලක් තිස්සේ පවතින දේශපාලන ක‍්‍රමය, නැතහොත් ප‍්‍රාග්ධන සහ විශේෂඥ දැනුමේ සාපේක්‍ෂ හිඟයයි. මෙම පසුබිම තුළ බොහෝ රටවල් උරුම සංරක්‍ෂණ සහ සංචාරක සැලසුම් සම්පාදනයේ දී විශේෂඥයින් වෙනත් ප‍්‍රදේශවලින් හෝ සමහරවිට වෙනත් රටවලින් ආරාධනා කොට හෝ ගිවිසුම් හරහා ගෙන්වා ගැනීම හෝ සිදු කෙරේ. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ ප‍්‍රමාණයට වඩා බාහිර පුද්ගලයින් හරහා තීරණ ගැනීමට යාම තුළ ප‍්‍රාදේශීය ප‍්‍රජාවට ඔවුනගේ අදහස් නියෝජනයට හා මැදිහත්වීමට පවතින අවස්ථාව සීමා සහිත තත්ත්වයකට පත්වීම ය. මෙකී පසුබිම් තුළ සැකසෙන සැලසුම්වල ප‍්‍රාදේශීය ප‍්‍රජා අවශ්‍යතා මඟහැරී යා හැකිය. එවිට සැලසුම් කෙරෙහි අපේක්‍ෂා සහිතව බලා සිටි ප‍්‍රජාවට ප‍්‍රතිලාභ අහිමි වනු ඇත. උක්ත ගැටලුවේ තවත් පාර්ශ්වයක් වන්නේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලීන්ට බද්ධ වීම සඳහා ප‍්‍රජාව සතු දැනුමේ සහ හැකියාවේ අවම ධාරිතාවයි.78

සීමා සහිත මූල්‍ය සම්පත් සහ විදේශාධාර, ආයෝජන මත යැපීම

දියුණු වෙමින් පවතින රටවල් උරුම සංරක්‍ෂණ කටයුතු සඳහා සැමවිට සිය රාජ්‍ය අයවැයෙන් වෙන්කරනු ලබන්නේ සීමා සහිත ප‍්‍රතිපාදනයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන් හරහා ලැබෙන විදේශාධාර, විදේශ ආයෝජන, මෙන් ම සංචාරක ව්‍යාපාරය මත අසීමාන්තිකව යැපීමට සිදු වේ. උක්ත රටවල පවතින දේශපාලන අස්ථාවරභාවයන්, අභ්‍යන්තර ගැටුම් ආදිය මත විකල්පීය මූල්‍ය ප‍්‍රභවයන් දෙදරා යාමේ අවකාශය ද පවතී. මෙකී පසුබිම තුළ උරුම ක්ෂේත‍්‍රයන්හි තිරසාරභාවය අභියෝගයට ලක් වේ. Daher (2000)79 සහ Wall (2001)80 දෙදෙනාම ජගත් උරුම භූමි තුළ යුනෙස්කෝ සංවිධානයේ ක‍්‍රියාකාරකම් තුළින් ඒවායේ ගුණාත්මයට අහිතකර බලපෑම් එල්ලවන බවත්, එසේම ප‍්‍රාදේශීය සංවර්ධන අවස්ථා නිශේධ කිරීම සහ උරුමයෙන් ජන දිවිය වියුක්ත කරන බවත් පවසමින් විවේචනය කරයි.

දියුණු වෙමින් පවතින රටවල උරුම ක්ෂේත‍්‍ර සම්බන්ධ ඉහත සඳහන් ගැටලු වලින් පිළිබිඹු වන්නේ එම ක්ෂේත‍්‍ර උරුම සංරක්‍ෂණය, උරුම සංචාරක ව්‍යාපාරය සහ ප‍්‍රජා යහසාධනයේ තිරසාරභාවය සම්බන්ධයෙන් මුහුණදෙන අභියෝගයන්ය. තිරසාරභාවය පිළිබඳ උක්ත අභියෝගයන් සඳහා පිළිතුරු සෙවිය යුත්තේ ද සැලසුම්කරණය තුළිනි.

පූජනීය උරුම ක්ෂේත‍්‍ර හා සංචාරක සංවර්ධනය

ජගත් උරුම ක්ෂේත‍්‍රයන්හි සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සංවර්ධනය පිළිබඳව මෑත කාලීනව පර්යේෂණ රැුසක් අරමුණු කර ඇති බව පෙනේග ඒ බොහොමයක් සාකච්ඡුා කරනු ලබන්නේ උරුම සන්දර්භය තුළ නිෂ්පාදිතයක් ලෙස සංචාරකයින් විසින් පරිභෝජනය කරනු ලබන සහ ඒ තුළින් ලබන අත්දැකීම් පිළිබඳ ව ය.81 එසේම තවත් අධ්‍යයන බොහොමයක් උරුමය සහ සංචාරක ව්‍යාපාරය, සමාජල ආර්ථික හා සංස්කෘතික බලපෑම්, ප‍්‍රතිලාභ විශ්ලේෂණය හා Edson, G. (2004) ‘Heritage: pride or passion, product or service? International Journal of Heritage Studies, 4, pp. 333-348. උරුම සංරක්ෂණ සඳහා සංචාරක ව්‍යාපාරයේ බලපෑම් කෙරෙහි ද විශේෂ අවධාරණයකින් සිදු කර ඇත.82

මෙම අධ්‍යයනය විශේෂයෙන් ඉලක්ක කරන පූජනීය ආගමික උරුම ක්ෂේත‍්‍ර බොහොමයක් වර්තමානයේ ගෝලීයකරණය, ජාත්‍යන්තර සහ දේශීය සංස්කෘතික සංරක්ෂණ කි‍්‍රයාකාරකම්, වෙළඳපොළ ආර්ථිකය සහ සංස්කෘතික භාණ්ඩකරණය මෙන් ම ආගමික සහ ජනවාර්ගික අනන්‍යතාවන් හා දේශපාලනය වැනි හේතු නිසා යම් හැඩ ගැස්මකට ලක් වී ඇත.83

1972 යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය මගින් සංස්කෘතික උරුමයට අයත් විශේෂ අංග කීපයක් නිර්වචනය කරනු ලබයි.84 එම නිර්වචන තුළ අස්පර්ශනීය සහ අධ්‍යාත්මික අංගයක් සහිත ස්පර්ශනීය පූජනීය උරුම ක්ෂේත‍්‍ර පිළිබඳ ව විශේෂයෙන් අවධානයක් යොමු කර ඇති බව පෙනේ. ලොව පුරා සියදහස් ගණන් පූජනීය උරුම ක්ෂේත‍්‍ර පවතින අතර ඉන් 80කට අධික ප‍්‍රමාණයක් යුනෙස්කෝ ජගත් උරුම ලයිස්තුව තුළ ජගත් උරුම ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. ඒවා බොහොමයක් වර්තමානයේ ආගමික ප‍්‍රජාවන්ගේ වැදගත් ස්ථාන ද වේ. එහෙත් සමහර ස්ථානයන්හි අතීතය සහ වර්තමානය අතර අවිච්ඡින්නතාවක් හඳුනාගත නොහැකි ය. පූජනීය ක්ෂේත‍්‍ර වර්ගීකරණය තුළ පවත්නා පූජනීය නගර යටතට අනුරාධපුරය සහ මහනුවර ඇතුළත් වේ.

පූජනීය හෝ ආගමික උරුම ක්ෂේත‍්‍රවල සංස්කෘතික උරුම සංචාරක ව්‍යාපාරය විශේෂ වූවකි. යුනෙස්කෝ ලෝක උරුම ක්ෂේත‍්‍රවලින් අඩකටත් වඩා අයත් වන්නේ් ආගමික ක්ෂේත‍්‍ර ගණයට ය. ආගමික උරුම ක්ෂේත‍්‍ර පදනම් කර ගත් සංචාරක ව්‍යාපාරයේ පරමාර්ථය නම් ක්ෂේත‍්‍රයේ පූජනීයත්වය ආරක්ෂා /සංරක්ෂණය කරන අතරතුර ප‍්‍රජා භාවිතාව සහ සංචාරණය සඳහා අවකාශ සැලසීමයි. මෙහි දී ප‍්‍රජාව ස්ථානීය පූජනීයත්වය තේරුම් ගන්නා ආකාරය වැදගත් ය.

උරුම සැලසුම්කරණය හා කළමනාකරණය

Ashworth (1996)85 සඳහන් කරන ආකාරයට උරුම ක්ෂේත‍්‍ර හා සම්බන්ධ බොහෝ ගැටලු සැලසුම්කරණ හා කළමනාකරණ මැදිහත්වීම් තුළින් අවම කරගත හැකි වුවත් සියලු ප‍්‍රශ්න සඳහා විසදුම් අපේක්‍ෂා කළ නොහැකිය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටක උරුම ක්ෂේත‍්‍ර හා අනුබද්ධ වූ ගැටලු ආමන්ත‍්‍රණය කිරීමේ දී න්‍යායාත්මකව හා සංකල්පමය ලෙස උරුම සැලසුම් පිළිබඳව පහත සඳහන් තේරුම් ගැනීම වැදගත් වේ. එනම්, උරුම සැලැස්මක් යනු කුමක්ද? කවුරුන් සඳහා එය සැලසුම් කළ යුතුද? උරුම සැලැස්මක් තුළින් මුදුන් පමුණුවා ගත යුත්තේ කුමක්ද? විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින සන්දර්භයක උරුම සැලසුම්කරණය හා එහි ක‍්‍රියාත්මක කිරීමෙහි ලා පවතින අභියෝග සහ සීමාවන් කවරේ ද?

උරුම සැලැස්ම

උරුම ක්ෂේත‍්‍රයේ පර්යේෂණවල නිරත බොහෝ විද්වතුන් උරුම සැලැස්ම (Heritage Plan) යන වචනය නිරන්තරයෙන් භාවිත කළද ඒ සඳහා නිශ්චිත නිර්වචනයක් සැපයීමට අපොහොසත් වී ඇත. ‘උරුමය’ (Heritage), සැලැස්ම / සැලසුම්කරණය (Plan / Planning) යන්න වෙනවෙනම නිර්වචන සහිතව විස්තර කර ඇතත් උරුම සැලැස්ම හෝ උරුම සැලසුම්කරණය (Heritage Planning) යන්න නිර්වචනය කිරීමට පෙලඹී නැත.

උරුම සැලැස්මක් විය යුත්තේ උරුම සම්පත් පදනම් කොට සමාජ, ආර්ථික සහ පාරිසරික කරුණු සැලකිල්ලට ගනිමින් සාධනීය අනාගත අපේක්‍ෂා හඳුනාගන්නා වූ සහ එම අපේක්‍ෂා ළඟාකර ගැනීම සඳහා ක‍්‍රියාකාරකම් වර්ධනය කිරීමකි. Mitchell (2002)86 ගේ සම්පත් සහ පරිසර කළමනාකරණය අනුව උරුම කළමනාකරණය උරුම සම්පත් සහ එහි පරිසරය ඇගයීම, ආරක්‍ෂා කිරීම, සංවර්ධනය කිරීම, භාවිත කිරීම, පුනරුත්ථාපනය සහ ප‍්‍රතිසංස්කරණය, පසු විපරම සහ ඇගයීම කෙසේ කරනු ලබන්නේ ද යන්න සම්බන්ධ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධ සැබෑ තීරණ සහ ක‍්‍රියාකාරකම්ය.

උරුම සැලසුම්කරණය සහ කළමනාකරණය අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධ වුවත්, උරුම සැලසුම්කරණ අරමුණු, පරමාර්ථ උරුම කළමනාකරණයේ අරමුණු පරමාර්ථ සමඟ එකිනෙකට වෙනස් අවධාරණයන් තුළ පිහිටන බැවින් උරුම සැලැස්මක් මඟින් උරුම සංරක්‍ෂණයේ සියලු පැතිකඩ ආවරණය කිරීම කළ නොහැකි අතර කළමනාකරණය මගින් ඇතැම් වගකීම් දැරිය යුතු වේ. කෙසේ වෙතත් උරුම සැලැස්ම මගින් දිශානතිය සහ අරමුණු ස්ථාපිත කළ යුතු අතර කවුරුන් සඳහා සැලසුම් කරන්නේද? කුමක් මුදුන් පමුණුවා ගැනීමට අපේක්‍ෂිත ද? ආදී ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කළ යුතු වේ. උරුම සැලැස්මක් මගින් උක්ත ගැටලු ආමන්ත‍්‍රණය කිරීමේ දී තිරසාර සංවර්ධන සංකල්පය (Concept of Sustainable Development) සහ උරුම සැලසුම්කරණ, සංරක්‍ෂණ සහ කළමනාකරණ ක්ෂේත‍්‍රයන්ට අදාළව එහි භාවිතය විමසා බැලිය යුතු ය.

උරුම කළමනාකරණයසහ තිරසාර සංවර්ධනය

තිරසාර සංවර්ධනය (Sustainable Development) යනු ‘අනාගත ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට බාධා නොවන ලෙස වර්තමාන අවශ්‍යතා සපුරා ගැනීම’ Our Common Future’ නම් බ‍්‍රෑන්ට්ලන්ඞ් (Bruntland) වාර්තාවේ සඳහන් වේ. එතැන් සිට විවේචන සහ විවාදයන්ගෙන් තොරව මෙම සංකල්පය පාරිසරික, ආර්ථික, සාමාජීය, සංස්කෘතික ප‍්‍රතිපත්ති, උරුම සංරක්‍ෂණ ආදී බොහෝ ශික්‍ෂණයන් විසින් වැළඳගනු ලැබීය.87 තිරසාර සංවර්ධනයේ දී අනිවාර්යයෙන් මතුවන ස්වාභාවික, සංස්කෘතික, ආර්ථික සහ සමාජ දේශපාලනික ගැටලු සමග ස්වාභාවික සහ සංස්කෘතික උරුමය රැකගත යුතු සම්පතක් ලෙස සලකනු ලැබේ. විශේෂයෙන් සමාජ ආර්ථික ගැටලූ පරිසරයෙන් වියුක්ත කොට සැලකීමේ සාම්ප‍්‍රදායික මානව ආධිපත්‍ය සහිත දැක්මෙන්, තිරසාර සංවර්ධන සංකල්පය හරහා ස්වභාව ධර්මය සමග මානවයාගේ අවියෝජනීය සබඳතාව තේරුම්ගන්නා වූ දර්ශනය වෙත පිම්මක් උදා කළේය.88

Gibson et al. (2005)89 තිරසාරභාවයේ නැතහොත් තිරසාර සංවර්ධනයේ මූලික මූලධර්ම අටක් සාරාංශ කරමින් සමාජය, ආර්ථිකය සහ පරිසරය අතර අන්තර් සබඳතාව අවධාරණය කර ඇත. Gibson පෙන්වා දෙන මූලධර්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් වන ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම අනන්‍යතාව සහ උරුම සංචාරක ව්‍යාපාරය තත් ක්ෂේත‍්‍රවල සංරක්‍ෂණයට සහ ප‍්‍රජා යහසාධනයට බලපා ඇති ආකාරය අවබෝධ කරගැනීමටත්, තදනුබද්ධ ගැටලු ආමන්ත‍්‍රණය කිරීම සඳහාත් වැදගත් වේ.

තිරසාර සංකල්පයේ මූලධර්ම උරුම සංකල්පයට සම්බන්ධ කරමින් අදහස් දක්වන Rodwell (2003)90 ප‍්‍රධාන මූලධර්ම 3ක් යෝජනා කරයි.

  1. සම්පත්වල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඥානාන්විත පරිහරණය
  2. ද්‍රව්‍යාත්මක ව්‍යූහයට සහ සංස්කෘතික අනන්‍යතාව (භෞතික, සමාජීය, ආර්ථික, කලාත්මක) උදෙසා අවම මැදිහත්වීම
  3. හායනකාරී පරිණාමයට එරෙහි ප‍්‍රතිජනනාත්මක පරිණාමය (Constructive evolution)

උක්ත මූලධර්ම මඟින් නරඹන්නන්, සංචාරකයන්, වන්දනාකරුවන් ලෙස උරුම ක්ෂේත‍්‍ර කරා පැමිණෙන ප‍්‍රජාවට උරුම සංචාරක ව්‍යාපාරයේ දී උරුම ක්ෂේත‍්‍ර ඉදිරිපත් කිරීම සහ තදනුබද්ධ සේවා සම්පාදනයේ දී ප‍්‍රතිජනනාත්මක වෙනස්වීම සහ සංවර්ධනය පිළිගනු ලැබේ. උරුම සංරක්‍ෂණයේ දී අව්‍යාජත්වය (Authenticity) සහ අඛණ්ඩතාව මෙන් ම ඒකාබද්ධතාව (Integrity) ආරක්‍ෂා කිරීම අපේක්‍ෂා කළත් වෙනස්වීම අනිවාර්ය ප‍්‍රතිඵලයකි. එහෙත් එහි දී අවම මැදිහත්වීම ද අවධාරණය කෙරේ. Hall සහ Mcarthur  (1998)91 විශ්වාස කරන පරිදි උරුම කළමනාකරණ කටයුතු මගින් නරඹන්නන්ට සේවා සැපයීම පමණක් නොව සියලු පාර්ශ්වකරුවන්ට සේවා සැපයීම සිදු කළ යුතු ය. උරුම කළමනාකරණ කටයුතු මගින් ප‍්‍රශ්න විසඳීම සඳහා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග තුළින් සහ ක‍්‍රියාමාර්ග නොගැනීම තුළින් බලපෑම් වූ පුද්ගලයින්, කණ්ඩායම් සහ සංවිධාන ඒ අතර වේ.92 මෙම පර්යේෂණයේ තේමාවට අනුව උරුම ක්ෂේත‍්‍ර තුළ සහ ඒ අවට උරුමය සම්බන්ධ ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙමින් හෝ නොවෙමින් ජීවත්වන ප‍්‍රජාව විශේෂ පාර්ශ්වකරුවන් පිරිසක් ලෙස සලකන හෙයින් ඔවුනගේ යහසාධනය උරුම සංරක්‍ෂණයේ දී හා සංචාරක ව්‍යාපාරයේ දී නොසලකා හැරිය නොහැකිය යන මතවාදයේ සිටී. උරුම සංරක්‍ෂණයේ තිරසාරභාවය සහ ජන ජීවිතයේ තිරසාරභාවය උරුම කළමනාකරණයේ දී අර්ථවත් විය යුතුය යන්න අපගේ විශ්වාසයයි.

පාර්ශ්වකරුවන්ගේ හා උරුම සංරක්‍ෂණයේ අරමුණු සපුරාලීම සම්බන්ධයෙන් උපාය මාර්ගික උරුම සැලසුම්කරණ ක‍්‍රියාවලිය වැදගත් වේ. Wall (1996)93 ගේ අදහස් හා මතවාදයන් මත පදනම්ව Hall සහ Mcarthur (1998)94 විසින් උරුමය හා බද්ධ වූ ගැටලු ආමන්ත‍්‍රණය කිරීම සඳහා උපායමාර්ගික සැලසුම්කරණ ප‍්‍රවේශය අනුගමනය කරමින් උරුම සංරක්‍ෂණ ක‍්‍රියාමාර්ග තිරසරභාවය දෙසට යොමුකරනු ලැබීය.

උපාය මාර්ගික උරුම සැලසුම්කරණ ක‍්‍රියාවලිය දෙස අවධානය යොමුකරන විට පාර්ශ්වකරුවන්ට අවස්ථා සැලසීමට, ප‍්‍රජා සහභාගීත්වය දිරිගැන්වීමට, අනුගත කිරීමට සහ පුනරීක්‍ෂණ සඳහා අනවරත සොයාබැලීම සහ ඇගයීම් සිදුකරනු ලැබේ. මෙසේ සිදු කිරීමේ අරමුණ සැලසුම්කරණ ක‍්‍රියාවලියේ දී නොසලකා හරින ලද ප‍්‍රතිලාභ අහිමි වූ ප‍්‍රාදේශීය ප‍්‍රජාව කෙරෙහි සැලකිලිමත් වෙමින් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේ දී ඔවුනගේ හඬට සවන්දීමට අපේක්‍ෂාවන් දැනගැනීමට සහ සලකා බැලීමය. Wall (1996)95 හඳුනාගන්නා පරිදි, සංවර්ධනය වෙමින් පවත්නා රටවල සංචාරක කර්මාන්තය හා සම්බන්ධ තීරණ ගැනී්මේ දී ප‍්‍රජා සහභාගීත්වය හුදෙක් සංකේතාත්මකය. එසේම උක්ත ප‍්‍රවේශය දියුණු වෙමින් පවතින ශ‍්‍රී ලංකාව බඳු රටවලට නව්‍ය සංකල්පයකි. නූතන නාගරික සැලසුම්කරණයන්හි දී ඉතා සීමා සහිත ලෙස මෙම සංකල්ප භාවිත වනු දැකිය හැකි අතර නාගරික ක්ෂේත‍්‍ර ආශ‍්‍රිතව පිහිටන උරුම ක්ෂේත‍්‍ර සැලසුම්කරණයන්හි දී (උදා: මහනුවර, අනුරාධපුර ජගත් උරුම ක්ෂේත‍්‍ර) මෙම සංකල්පවල සීමාසහිත භාවිතාවන් හඳුනාගත හැකිය.

උක්ත පැහැදිලි කිරීම් වලින් ප‍්‍රකටවන කරුණක් නම් උරුමය සංරක්‍ෂණයේ සහ සැලසුම්කරණයේ ප‍්‍රධාන අරමුණ වන්නේ ප‍්‍රජා යහසාධනය බවයි. ඒ අනුව, උරුම සැලසුම්කරණයල උරුම සම්පත් සංරක්‍ෂණය සහ කළමනාකරණයට අමතරව උරුම සැලසුමක තවත් ප‍්‍රමුඛතාවක් වන්නේ ප‍්‍රාදේශීය ප‍්‍රජාව සඳහා ප‍්‍රතිලාභ ලබාදීමෙන් ඔවුනගේ ජීවන රටාව තිරසාර කිරීම සහ උරුම පරිසරය සමඟ ඔවුනගේ සහජීවන සබඳතාව පවත්වාගෙන යාමට උදව් කිරීම ය.

තිරසාරභාවය සහ සංචාරක ව්‍යාපාරය

තිරසාරභාවය (Sustainability) විස්තර කරන ලෝක සංචාරක සංවිධානය (WTO) සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන අංග 3ක් කෙරෙහි අවධානය යොමු කරයි. එනම්,

  1. සම්පත් (resources)
  2. සංචාරකයා (the tourists)
  3. ප‍්‍රජාව (the community)

උක්ත අංගයන්ගේ අවශ්‍යතා තුලනය නොකොට තිරසාරභාවය මුදුන් පමුණුවා ගත නොහැකි අතර උක්ත සංකල්පය යථාර්ථයක් කිරීම ද දුෂ්කර කාර්යයකි.

තිරසාර සංකල්පය සංස්කෘතික උරුම කළමනාකරණ සන්දර්භය තුළ මෙන් ම සංචාරක ව්‍යාපාර සන්දර්භය තුළ තබා සාකච්ඡා කිරීම වැදගත් වේ. තිරසාරභාවය සම්බන්ධයෙන් සංස්කෘතික සංචාරක ව්‍යාපාරය විශේෂයෙන් අදාළය. එයට හේතුව ඒ තුළ ස්පර්ශනීය සහ අස්පර්ශනීය සංස්කෘතික සම්පත් භාවිතවන බැවිනි. සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ දී උරුම සම්පත් සහ සංස්කෘතිය සමස්ත සංචාරක අත්දැකීම සම්බන්ධයෙන් මහඟු කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව සංචාරක ව්‍යාපාරය සහ උරුම කළමනාකරණය මගින් සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වගකීම් දරනු ලැබේ. ලෝක සංචාරක සංවිධානයේ නිර්වචනයට අනුව තිරසාර සංචාරණ සංවර්ධනය යනු,

අනාගතය සඳහා අවස්ථාවන් ආරක්‍ෂා කරන සහ නඟා සිටුවන අතරතුර නූතන සංචාරකයින්ගේ සහ සත්කාරක ප‍්‍රදේශවල අවශ්‍යතා සපුරා ගැනීම ය. මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වර්තමාන සහ අනාගත ප‍්‍රජාවන්ට පවතින ස්වාභාවික හෝ සංස්කෘතික සම්පත් විඳීමට එක හා සමාන අවස්ථාවක් තිබිය යුතු බවය. මෙම තිරසාර සංවර්ධන ප‍්‍රවේශය 1992 බ‍්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර පැවති එක්සත් ජාතීන්ගේ මිහිකත සමුළුවේ දී තවදුරටත් සවිස්තරාත්මකව සාකච්ඡා කළ අතර, ඉන් අනතුරුව බොහෝ රාජ්‍යයන් සිය සංවර්ධන ප‍්‍රතිපත්තිවල විශේෂයෙන් සංචාරණ සැලසුම්කරණ සහ සංවර්ධනය සඳහා මූලික ප‍්‍රතිපත්තියක් ලෙස අනුගත කිරීමට කටයුතු කර ඇත.

උක්ත නිර්වචන රාමුව තුළ පිහිටමින් ලෝක සංචාරක සංවිධානය තිරසාර සංචාරණ සංවර්ධනය ක‍්‍රියාකාරී ප‍්‍රතිපත්ති තුළ සිට විග‍්‍රහ කරන අතර ඒ තුළ අන්තර්ගත පහත සඳහන් අදහස් මෙම අධ්‍යයනයේ විෂය පථයට අතිශයින් අදාළය.

1. වර්තමාන ප‍්‍රජාවට ප‍්‍රතිලාභ උදාකරන අතර ම අනාගතයේ අඛණ්ඩ භාවිතයක් සඳහා ස්වාභාවික, ඓතිහාසික, සංස්කෘතික සහ වෙනත් සංචාරක සම්පත් සංරක්‍ෂණය

සංචාරක කර්මාන්තය කිසියම් ප‍්‍රදේශයක ඓතිහාසික, සංස්කෘතික උරුමය සහ ස්වාභාවික සම්පත්වලට සම්බන්ධ සංචාරක ආකර්ෂණ සහ ක‍්‍රියාකාරකම් මත යැපෙන කර්මාන්තයක් වන බැවින් තිරසාරභාවය සංචාරක සංවර්ධනයේ දී අතිශයින්ම තීරණාත්මකය. උක්ත සම්පත් මෙම ව්‍යාපාරය හරහා විනාශ වුවහොත් සංචාරක කර්මාන්තයෙහි පැවැත්ම අභියෝගයට ලක් වේ. එහෙයින් උක්ත සම්පත් සංරක්‍ෂණය සංචාරණ සංවර්ධනය තුළින් උරුම සංරක්‍ෂණය පිළිබඳ ප‍්‍රජා සංවේදීත්වය / දැනුවත්භාවය වර්ධනය කළ හැකිය.

2. සංචාරක ප‍්‍රදේශය තුළ බරපතල පාරිසරික හෝ සමාජ සංස්කෘතික ප‍්‍රශ්න වළක්වාගැනීම උදෙසා සංචාරක සංවර්ධනය ප‍්‍රවේශම්කාරීව සැලසුම්කරණය සහ කළමනාකරණය කිරීම

ඍණාත්මක පාරිසරික හා සමාජ සංස්කෘතික බලපෑම් වළක්වා ගැනීම සඳහා නගර සැලසුම්කරණය සහ ඉසිලීම් ධාරිතා විශ්ලේෂණය (Carrying Capacity Analysis) ඉතා වැදගත් ක‍්‍රියාමාර්ගයන් වේ. බොහෝ විට සංචාරකයන්ගේ ආගමනය භූමි පරිභෝජන සහ කලාපීකරණ යාන්ත‍්‍රණ හරහා පාලනය කරන අතර සංචාරක අත්දැකීම් සහ නරඹන්නන් කළමනාකරණයට පහසු කරනු ලැබේ. එසේම පරිසර සංවේදී සහ තාක්‍ෂණික ක‍්‍රියාමාර්ග හරහා ද සංචාරක සංවර්ධනයේ අහිතකර බලපෑම් අවම කරගත හැකිය.

3. සංචාරක ප‍්‍රදේශය තුළ සමස්ත පාරිසරික ගුණාත්මක තත්ත්වය නඩත්තුව සහ දියුණු කිරීම

4. සංචාරක ක්ෂේත‍්‍රයේ අලෙවිකරණ හැකියාව රඳවා ගැනීම සහ ජනප‍්‍රියභාවය උදෙසා ඉතා උසස් සංචාරක අත්දැකීමක් හා තෘප්තිමත්භාවයක් පවත්වාගෙන යාම

සංචාරක අපේක්‍ෂා, අත්දැකීම් සහ තෘප්තිමත්භාවය කළමනාකරණය එම ක්ෂේත‍්‍රයේ පැවැත්ම පිණිස තීරණාත්මකය. කිසියම් ක්ෂේත‍්‍රයක් වසර ගණනක් සංචාරක ආකර්ෂණයක් ලෙස ක‍්‍රියාත්මක වන විට සංචාරකයන්ගෙන් ඇතිවන බලපෑම් හඳුනා ගැනීම සඳහා සැලසුම්කරණයට සහ කළමනාකරණයට Butler (1980)96 යෝජනා කළ පියවර හයකින් සමන්විත ක්ෂේත‍්‍රයක ජීවන චක‍්‍රය (Destination Life Cycle) උපයෝගී කරගත හැකිය.

5. සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රතිලාභ සමාජය පුරා පෘථුලව ව්‍යාප්ත කිරීම

සංචාරක සංවර්ධනය ඉතා ප‍්‍රවේශමෙන් සැලසුම් සහ කළමනාකරණය කළ විට ක්ෂේත‍්‍රය තුළ සහ ඒ අවට ජීවත්වන ප‍්‍රජාව අතර පෘථුලව ව්‍යාප්ත වේ. සංචාරක ව්‍යාපාරයෙන් ප‍්‍රතිලාභ වැඩිකිරීම මඟින් ප‍්‍රාදේශීය ප‍්‍රජාව සංචාරක සංවර්ධනයට දිරිගැන්වීමක් ද වේ. මේ සඳහා ප‍්‍රජා පදනමීය සංචාරක සංවර්ධනය (Community – based tourism development) කදිම ප‍්‍රවේශයකි.

උක්ත මූලාශ‍්‍රය සමීක්‍ෂණය තුළින් මෙම අධ්‍යයනයේ දී තිරසාර සංස්කෘතික සංචාරණයෙන් පහත සඳහන් අර්ථයන් පිළිබිඹුවන බව හඳුනාගත හැකිය.

1. ස්පර්ශනීය සහ අස්පර්ශනීය උරුම සම්පත් තිරසර කිරීම

ක්ෂේත‍්‍රයේ අතීතය සහ ඉතිහාසය අවබෝධයට සංචාරකයාට අස්පර්ශනීය සංස්කෘතික අගයන් ඉදිරිපත් කිරීමේ දී ස්පර්ශනීය භෞතික උරුම සම්පත්වල ගතිලක්‍ෂණ ඉතා වැදගත් වේ. සංස්කෘතික අගයන් ආරක්‍ෂා කොට ඉදිරිපත් නොකිරීමෙන් භෞතික උරුම ව්‍යූහයන් අරුත් විරහිත බවට පත් වෙයි. ඒ නිසා භෞතික සම්පත් මෙන්ම සම්පත්වල සංස්කෘතික අර්ථය සන්නිවේදනයට උත්සාහ කිරීම වැදගත් වේ. එය සම්පත්වල ගුණාත්මකභාවය නැතහොත් තිරසරභාවය මිනීමේ දී වැදගත් සාධකයකි.

2. සංචාරක අත්දැකීම තිරසර කිරීම

ක්ෂේත‍්‍රයක් අඛණ්ඩව ප‍්‍රතිඵලදායී සංචාරක ආකර්ෂණයක් ලෙස පවත්වාගැනීම සඳහා සංචාරක අත්දැකීම් තිරසරව පවත්වාගත යුතුය.

3. ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ ජීවන තත්වය තිරසර කිරීම

සංස්කෘතික සම්පත් සහ සංචාරක ප‍්‍රජාව අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යාමට දායක වන සත්කාරක ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ යහසාධනය තිරසර කිරීම ද වැදගත් වේ.

උක්ත අංශයන්හි සමතුලනය පවත්වා ගැනීම අතිශයින්ම අභියෝගාත්මකය. ක්්ෂේත‍්‍රයක ජීවන චක‍්‍රයේ (Destination Life Cycle) සංවර්ධනාත්මක අවධියේ දී (Development stage) ප‍්‍රාදේශීය ප‍්‍රජාව අභිබවා සාමූහික වශයෙන් පැමිණෙන සංචාරක කණ්ඩායම් බහුල වශයෙන් පැමිණීමත් සමග ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ සහ සංචාරක ප‍්‍රජාවගේ තෘප්තිමත්භාවයට අහිතකර බලපෑම් එල්ල වීම දැකගත හැකිය. එහෙයින් තිරසර සංකල්පය තුළ පිහිටා සංවර්ධනාත්මක අවධියේ පරිණාමය තුළ සංචාරක ඉල්ලීම්වල ස්වභාවය ද අවබෝධ කරගනිමින් ක‍්‍රියා කළ යුතු වේ. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණයේ අනුරාධපුරය සහ මහනුවර පූජනීය උරුම ක්ෂේත‍්‍ර Butler (1980)97 ගේ ක්ෂේත‍්‍රයක ජීවන චක‍්‍ර ආකෘතියට අනුව සංවර්ධනාත්මක අදියරේ විවිධ පරිණාමීය අවස්ථා තුළ පසුවන බැවින් තිරසර සංකල්පයේ මිනුම් දඬු භාවිත කරමින්,

  • උරුම සම්පත් සංරක්‍ෂණයේ තිරසර බව
  • සංචාරක අත්දැකීම්වල තිරසර බව
  • ප‍්‍රාදේශීය ප‍්‍රජා යහ සාධනයේ තිරසර බව ඇගයීමට ලක් කිරීම මෙම අධ්‍යයනය තුළින් අපේක්‍ෂා කෙරේ.

මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයා විසින් සම්පත් සංරක්‍ෂණයෙන් සංචාරක අවශ්‍යතා සහ ප‍්‍රජා යහසාධනයත්, ප‍්‍රජා සංවර්ධනය තුළින් සම්පත් සංරක්‍ෂණය හා ප‍්‍රජා යහ සාධනයත්, සංචාරක සංවර්ධනය තුළින් තිරසාර උරුම සහ සංචාරක කළමනාකරණයත්, සැලසුම් සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීම ඇගයීම තුළින් ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණයේ පූජනීය ජගත් උරුම ස්ථාන සම්බන්ධයෙන් වාස්තවික තත්ත්වය විග‍්‍රහ කිරීමටත් අපේක්‍ෂිතය.

උරුමය සහ සාමාන්‍ය ප‍්‍රජාව

සංස්කෘතික උරුමයේඑක් කෝණයක් නියෝජනය කරනු ලබන්නේ තත් ක්‍ෂේත‍්‍ර ආශ‍්‍රිත ප‍්‍රාදේශීය ප‍්‍රජාවයි. Merriman (2004)98 ට අනුව ‘ප‍්‍රජාව’ යන්න පුළුල් අරුත් සහිත වූවක් වන අතර එය දෙයාකාරයකින් තේරුම්ගත හැකිය. ඉන් පළමු වැන්න නම් ප‍්‍රජාව නියෝජනය කරමින් කටයුතු කරන රාජ්‍යයයි (State), දෙ වැන්න නම් සැබෑ ප‍්‍රජාවයි. ප‍්‍රජාව නියෝජනය කරමින් බලයේ රැදී සිටින රාජ්‍යයට සිය දේශපාලන අභිමතාර්ථයන්ට අනුකූල වන පරිදි උරුම ස්ථානයන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයන් තෝරාගැනීම හා ප‍්‍රවර්ධනය කිරීම සිදුකළ හැකි ය. එය තවත් ලෙසකින් අධිපතිවාදී උරුම සංරක්‍ෂණයක් ලෙස ද පෙන්වාදිය හැකිය. මෙම ක‍්‍රියාවලියේ දී බොහෝ ජන කණ්ඩායම්වල උරුමයන් ආන්තිකකරණයට ලක් වීම නොවැළැක්විය හැක්කකි. මෙබඳු අවස්ථාවල දී ප‍්‍රජාව සහ ප‍්‍රජාව නියෝජනය කරන දේශපාලන අධිකාරිය සමඟ විඝඨනාත්මක මතවාදයන් ද ජනිතවිය හැකිය. එපමණක් නොව උරුම කළමනාකරණ වෘත්තිකයන් ලෙස ප‍්‍රජා අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමුකළ යුතු හෙයින් උභතෝකෝටික අර්බුදයක සිර වේ. අධිපතිවාදී උරුම සංරක්‍ෂණයේ දී ප‍්‍රජාව පිළිබඳ මතවාදයන් සහ ආකල්පයන් ප‍්‍රජාවට හිතවාදී නොවේ. එහි දී ඔවුන් කල්පනා කරන්නේ වෘත්තිකයන් උරුමය පිළිබඳව විශේෂ දැනුවත් පිිරිසක් ලෙසත්, සාමාන්‍ය ප‍්‍රජාව ඒ පිළිබඳව දැනුමෙන් ප‍්‍රමාණවත් නොවන බැවින් වෘත්තිකයින් විසින් දැනුවත් කළ යුතු පිරිසක් ලෙසත් ය. එහෙයින් අධිපතිවාදී උරුම සංරක්‍ෂණය තුළ උරුමය ආරක්‍ෂා කිරීම හා අර්ථකථනයේ දී ප‍්‍රජා නියෝජනය වෘත්තිකයින්ගේ වගකීමක් කොට සලකනු ලබන අතර ප‍්‍රජා පුරාවිද්‍යා කටයුතු ප‍්‍රජාව සමග සිදු කරනු වෙනුවට ප‍්‍රජාව සඳහා සිදු කිරීම දක්නා ලැබේ.

මෙරිමාන් (Merriman)99 විසින් ප‍්‍රජා පුරාවිද්‍යා ආකෘති දෙකක් යෝජනා කරනු ලබන අතර එහි දී ප‍්‍රජාව උරුමය පිළිබඳව නොදැනුවත් පිරිසක් ලෙස හඳුනා ගනිමින් එනිසාම පුරාවිද්‍යාඥයින් විසින් සිදුකරනු ලබන කටයුතු තේරුම් ගැනීමට හා ඇගයීමට ඔවුන් දැනුවත් කළ යුතුසේ සැලකේ. එහි කාර්යභාරය වන්නේ පුරාවිද්‍යාඥයින් විසින් තත් ක‍්‍රියාකාරකම් සිදු කරනු ලබන විට ඒ සඳහා සහභාගීත්වය දිරිගන්වනු ලැබීම සහ ඒ මඟින් ඔවුන්ගේ කටයුතු සඳහා විශ්වාසනීයත්වය වර්ධනය කිරීම අපේක්‍ෂා කිරීමයි.100 ඔහුට අනුව මෙම ප‍්‍රවේශය වෘත්තිමය පුරාවිද්‍යාව වෘත්තිමය නොවන්නවුන්ගෙන් වෙන් කිරීමේ අවශ්‍යතාව මත ප‍්‍රභවය වූවක් වන අතර, අවසාන වශයෙන් එය අධිපතිවාදී දැනුම සමග සම්බන්‍ධ වන්නක් ද වේ. ස්මාර්ඩ්ස් (Smardz)101 සඳහන් කරන්නේ හුදෙක් පුරාවිද්‍යාවේ පැවැත්ම සඳහා පමණක් පුරාවිද්‍යාව ප‍්‍රජාව වෙත ගෙනයාම නැවැත්විය යුතු අතර, එය ප‍්‍රජාවගේ අධ්‍යාපනික සමාජීය හා සංස්කෘතික අවශ්‍යතා මුදුන් පමුණුවාලීම උදෙසා කටයුතු කරන්නක් විය යුතු බව ය. මෙම ප‍්‍රවේශයේ පරමාර්ථය නම් ස්වයං සාක්ෂාත්කරණය දිරිගැන්වීම, ප‍්‍රජා ජන ජීවිතය පෙහොසත් කිරීම, නිර්මාණාත්මක බව සහ පිළිබිඹුව උත්තේජනය කිරීමයි.102

දෙ වන ප‍්‍රවේශය හරහා සමස්ත ඇගයීම් හා පාර්ශ්වකරුවන් උරුම සංකථනයන් සඳහා බද්ධ වන අතර එය පුරාවිද්‍යාවේ කේන්ද්‍රීය පරමාර්ථ සමග සම්බන්ධ වේ. අධිපතිවාදී උරුම සංකථනයට අභියෝගාත්මකව මෑත කාලයේ වර්ධනය වන ප‍්‍රවණතාවක් නම් ප‍්‍රජාවගේ අනන්‍යතාවන් උරුමය මඟින් ප‍්‍රතිනිර්මාණය කිරීම සඳහා පෙලඹීමයි. උරුම සංරක්‍ෂණය පිළිබඳ තීරණ ගැනීම සඳහා ප‍්‍රජා මැදිහත්වීමේ අවශ්‍යතාව බොහෝ සංරක්‍ෂණ ප‍්‍රතිපත්ති රාමු සඳහා ඇතුළත් වී ඇත. එහෙත් ප‍්‍රජා මැදිහත්වීම හුදෙක් විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ රැස්වීම්වලින් ඔබ්බට දිව නොයන අතර තවදුරටත් තීරණ ගැනීම උරුම වෘත්තිකයින්ගේම කාර්යභාරයක් වී ඇත. ඒ නිසාම උරුම කළමනාකරණ ක්‍ෂේත‍්‍රයේ හා පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය විවේචන රහිත පහසු ක‍්‍රියාවලියක් බවට පත් වී ඇත. එහෙත් මෙම ප‍්‍රවේශය කිසි විටෙක ප‍්‍රජාව සහ උරුම කළමනාකරණ වෘත්තිකයින් අතර ප‍්‍රතිජනනාත්මක සංවාදයට දායකත්වයක් නොදක්වන අතර, එය ද අධිපතිවාදී උරුම සංරක්‍ෂණය හා බද්ධවන මුත් සාර්ථක තිරසාර උරුම සංරක්‍ෂණ හා කළමනාකරණ ක‍්‍රියාදාමයක් සඳහා හේතු නොවේ. කෙසේ වෙතත් උරුම වෘත්තිකයින් සිතාබැලිය යුතු කරුණක් නම් ප‍්‍රජාව (Community) උරුමයන් සම්බන්ධයෙන් වුව තීරණාත්මක සාධකයක් වන අතර ප‍්‍රජා දෘෂ්ටිකෝණය උරුම කළමනාකරුවන්ට සිය උරුම කළමනාකරණ කාර්ය භාරය නැවත සිතා බැලීමට අවස්ථාවක් උදාකර දී ඇති බවයි.

පාදක සටහන්

  1. Little Oxford English Dictionary, 1996,p.294.
  2. K. Barber, (ed.) The Canadian Oxford Dictionary, Oxford University Press, 1998, P.  659.
  3. Hewson 1989: 16
  4. Herbert, D. T. ‘Heritage places, leisure and tourism , Herbert, D.T. (ed.), Heritage, Tourism and Society’,1995, London, Mansell Publishing Limited.
  5. B. Feilden and Jokilehto, J. Management Guidelines for World Cultural Heritage Stes,1998, Rome, ICROM.
  6. ICOMOS, 2002.
  7. Van Der Aa., Bart J. M. Preserving the Heritage of Humanity? Obtaining world heritage and the impacts of listing, 2005, Netherlands Organisation for Scientific Research.
  8. UNESCO,The Convention for the Safeguarding of the Intangible Cultural Heritage. 2003, Paris, France, UNESCO.
  9. P. Howard, Heritage: Management, Interpretation, Identity, 2003, London, Continuum.Pp.52-100.
  10. B.Graham, Ashworth, G.J. and Tunbridge, J. E. A, Geography of Heritage: Power, Culture and Economy, 2000, London, Arnold.
  11. F. LeBlanc, ‘Is Everything Heritage’?, 1993, ICOMOS Canada Bulletin, 2(2), p. 23.
  12. J.E.Tunbridge, and Ashworth, G. J. Dissonant Heritage: the management of the past as a resource in conflict, 1996, Chichester, Wiley.
  13. G. Wall, Southeast Asian tourism connections status, challenges and opportunities, Teo, T. C. Chang, and K. C. Ho (eds.), Interconnected worlds: Tourism in Southeast Asia, 2001, Oxford, Elsevier Science Ltd.
  14. B. Graham, Ashworth, G. J. and Tunbridge, J. E. (2000),A Geography of Heritage: Power, Culture and Economy. 2000, London, Arnold.
  15. M.K. Smith, Issues in cultural tourism studies, 2003, London, Routledge.
  16. Van Der Aa., Bart J. M. Preserving the Heritage of Humanity? Obtaining world heritage and the impacts of listing, 2005, Netherlands Organisation for Scientific Research.
  17. H. Cleere, ‘Europe’s cultural heritage from a world perspective’, ICOMOS UK (eds.), Sustaining the cultural heritage of Europe, 1998, London, ICOMOS, UK, p. 23.
  18. UNESCO, ‘Operational Guidelines for the Implementation of the World Heritage Convention’, 2005, Paris, World Heritage Center.
  19. UNESCO, Convention Concerning the Protection of the World Cultural and Natural Heritage.1972, Paris, UNESCO.
  20. Van Der Aa., Bart J. M. Preserving the Heritage of Humanity? Obtaining world heritage and the impacts of listing, 2005, Netherlands Organisation for Scientific Research.
  21. M. Batisse, ‘The struggle to save our world heritage’, Environment, 1992, 34(10), p.16.
  22. S. Dutt, ‘The role of intellectuals and non-governmental organizations in Britain’s relations with UNESCO’ The round table, 1999, 88 (350) p. 221.
  23. B.Mitchell, Resource and environmental management, 2002, (2nd edition) Harlow, Pearson Education limited.
  24. Athens Charter for the restoration of historic monuments, 1933.
  25. ICOMOS, The Venice Charter: International Charter for the Conservation and   Restoration of Monuments and Sites, 1964.
  26. UNESCO, ‘Operational Guidelines for the Implementation of the World Heritage Convention’, 1977, Paris, World Heritage Center.
  27. ICOMOS, Australia Burra Charter: The Australia ICOMOS Charter for the Conservation of Places of Cultural Significance, 1999.
  28. ICOMOS, Charter for the Protection and Management of the Archaeological Heritage. 1990.
  29. ICOMOS, Chater for the conservation of places of cultural heritage value,
  30. ICOMOS, Charter for the Protection and Management of the Archaeological Heritage. 1990.
  31. ICOMOS, The Nara Document on Authenticity, 1994.
  32. ICOMOS, Hoi An declaration on conservation of historic districts of Asia, 2003.
  33. Ibid.
  34. ICOMOS, Ename Charter,
  35. ICOMOS, Chater for the interpretation and Presentation of cultural heritage sites,
  36. ICOMOS, Phnom Penh-Vientiane Charter on Cultural Diversity and Heritage Tourism, 2006.
  37. R. Skeates, Debating the Archaeological Heritage. 2000, London, Duckworth.
  38. G. Budowski, ‘Tourism and environmental conservation: Conflict, coexistence or symbiosis’? Environmental Conservation, 1976, 3, pp. 27–31.
  39. J.T. Coppock, ‘Tourism and conservation’, Tourism Management, 1982, 3(4), pp. 270-276.
  40. D.H. Anderson and Brown, P. J. ‘Displacement process in recreation’, Journal of Leisure Research, 1984, 6(1), pp. 61–73.
  41. A. Mathieson, & Wall, G. Tourism economic, physical and social impacts. 1982, London, Longman.
  42. Romeril, M. ‘Tourism and the environment accord or discord’? Tourism Management, 1989, 10(3), pp. 204–208.
  43. R.W. Butler, ‘Tourism, environment and sustainable development’, Environmental Conservation, 1991, 18(3), pp. 201–209.
  44. Jackson, E. L, & Wong, R. A. G. (1982) ‘Perceived conflicts between urban cross country skiers and snowmobilers’, Alberta. Journal of Leisure Research, 14(1), pp. 47–62.
  45. J.S. Marsh, ‘Wilderness tourism’, Tourism   and   the environment, conflict or harmony. 1986, Edmonton, Canadian Society of Biologists, pp. 47–58.
  46. R. Madrigal, ‘A tale of tourism in two cities’, Annals of Tourism Research, 1993, 20, pp. 336–353.
  47. P Leo.Dana, ‘The social cost of tourism’, Cornell Hotel and Restaurant Administration Quarter, 1999, 40(4), pp. 60-63.
  48. S. Abakerli, ‘A critique of development and conservation policies in environmentally sensitive regions of Brazil’, Geoforum, 2001, 32(4), pp. 551–565.
  49. J.Jacobs, & Gale, F. Tourism and the protection of aboriginal cultural sites,1994, Canberra, Australian Heritage Commission, Special Publication Series No. 10; H. Du Cros, ‘A new model to assist in planning for sustainable cultural heritage tourism’.Journal of Tourism research, 2001, No.3, pp. 165-170; B. McKercher, & du Cros, H. Cultural tourism: The partnership between tourism and cultural heritage management, 2002, Binghamton, NY: Haworth Press.
  50. Jansen-Verbeke, M, (1998) ‘Tourismification and historical cities’, Annals of Tourism Research, 25(3), pp. 739–741.
  51. Jansen-Verbeke, M, (1998) ‘Tourismification and historical cities’, Annals of Tourism  Research, 25(3), pp. 739–741.
  52. A. Kerr, A. (1994) ‘strange bedfellows: An uneasy alliance between cultural conservation and tourism’.1994, Canada, ICOMOS, 3(3), http://www.icomos.org/canada/bulletin/vol3 no3 kerr e.html (accessed August, 2017).
  53. S.Abakerli, S. (2001) ‘A critique of development and conservation policies in environmentally sensitive regions of Brazil’, 2001, Geoforum, 32(4), pp. 551–565.
  54. M. C. Markwick, ‘Golf tourism development, stakeholders, differing discourses and alternative agendas: The case of Malta’, 2000, Tourism Management, 21(5), pp. 515–524.
  55. T. C. Chang, T. C. ‘Singapore’s little India: A tourist attraction as a contested landscape’, Urban Studies, 2000, 37(2), pp. 343–366.
  56. M. L. Nolan, M.  L. & Nolan, S.  ‘Religious sites as tourism attractions in Europe’, Annals of Tourism Research, 1992, 19, pp. 68–78
  57. B. Garrod, and Fyall, A. ‘Managing heritage tourism’, Annals of tourism Research, 2000, 27(3), pp. 682-708.
  58. C. Aas, Ladkin, A. and Fletcher, J. ‘Stakeholder collaboration and heritage management’, Annals of Tourism Research, 2005, 32(1), pp. 28-48.
  59. A. Mathieson, & Wall, G. Tourism economic, physical and social impacts, 1982,   London, Longman.
  60. M. K.Smith,  Issues in cultural tourism studies, 2003,London, Routledge,p. 29.
  61. H. Zeppel, and Hall, C. M.  ‘Arts and heritage tourism’. Hall, C. M. and B. Eiler. (eds.), Special Interest Tourism, 1992, London, Belhaven Press, pp. 47-68.
  62. P. Yale, From tourist attractions to heritage tourism, 1991, Huntington, ELM.
  63. Y. Poria, Butler, R. W. and Airey, D. ‘Clarifying heritage tourism’, Annals of Tourism Research, 2001, 28, pp. 1047-1049.
  64. B. Garrod, and Fyall, A. ‘Heritage tourism: A question of definition’, Annals of tourism research, 2001, 28(4), pp. 1049-1052.
  65. Silberberg, T. ‘Cultural tourism and business opportunities for museums and heritage places’, Tourism management, 1995, 16(5), pp. 361-365.
  66. E. Laws, and Pan, G. W. ‘Heritage sites as tourism assets for Asian Pacific Destinations: insights from ancient Europe Tourism’, 2004, Asia Pacific Journal of Tourism Research, Vol.9, No.3. pp. 267-280.
  67. J. Jafari, Editor‘s page, Annals of Tourism Research, 1997, Vol. 5, pp. 6-11.
  68. UNWTO, Cultural tourism and poverty alleviation: The Asia-Pacific perspective. 2005, Madrid, World Tourism Organization.
  69. Timothy, D. J. and Nayaupane, G. P. ‘Protecting the Past: Challenges and Opportunities’, Cultural Heritage and Tourism in the Developing World: a Regional Perspective, 2009, (ed.), D. J. Timothy and Nayaupane, New York, Routledge, pp. 20-41.
  70. Ibid.
  71. R. Gonzalez, and Medina, J. Cultural tourism and urban management in northern Spain: the pilgrimage to Santiago de Compostela’, Tourism Geographies, 2003, 5(4), pp. 446-60.
  72. J.H. Cohen, J.H. ‘Textile, tourism development and community development’, Annals of Tourism Research, 2001,28, pp. 378-98.
  73. D.J. Timothy, and Boyd, S. W. ‘Heritage tourism in the 21st century, valued traditions and new perspectives’, Journal of Heritage Tourism, 2006, 1(1), pp. 1-16.
  74. Black, H. and Wall, G. ‘ Global-local inter-relationships in UNESCO world heritage sites’, P. Teo, T. C. Chang, and K. C. Ho (eds.), Interconnected worlds: Tourism in Southeast Asia, 2001, Oxford, Elsevier Science Ltd.
  75. G. Wall, and H. Black (2005) ‘Global Heritage and Local Problems: Some Examples from Indonesia’, D. Harrison and M.Hitchcock, (eds.), the politics of World Heritage: Negotiating Tourism and Conservation. 2005, Clevedon, UK, Channel View publishers, pp.156-159.
  76. D. Harrison, ‘Introduction: Contested narratives in the domain of World Heritage’, Harrison, D. and M. Hitchcock (eds.), The Politics of world heritage: Negotiating tourism and conservation. 2005, Clevedon, Channel View Publications.
  77. H. Black, and Wall, G. ‘ Global-local inter-relationships in UNESCO world heritage sites’, P. Teo, T. C. Chang, and K. C. Ho (eds.), Interconnected worlds: Tourism in Southeast Asia, 2001, Oxford, Elsevier Science Ltd.
  78. Aas et al. 2005 C. Aas, Ladkin, A. and Fletcher, J. ‘Stakeholder collaboration and heritage management’, Annals of Tourism Research, 2005, 32(1), pp. 28-48.
  79. R.F. Daher, ‘Dismantling a community‘s heritage ―Heritage tourism:  Conflict, inequality, and a search for social justice in the age of globalization’, M. Robinson, et al. (eds.), Tourism and heritage relationships: global, national, and local perspectives, 2000, Sunderland: the Centre for Travel and Tourism in association with business Education Publishers Ltd.
  80. G. Wall, ‘Conclusion: Southeast Asian tourism connections status, challenges and opportunities’, P. Teo, T. C. Chang, and K. C. Ho (eds.), Interconnected worlds: Tourism Southeast Asia, 2001, Oxford: Elsevier Science Ltd
  81. G. Edson, ‘Heritage: pride or passion, product or service? International Journal of Heritage Studies, 2004, 4, pp. 333-348.
  82. R. Bendix, R. Heritage between economy and politics, L. Smith & N. Akagawa (eds.), Intangible heritage, 2009, Routledge, London, New York, pp. 253-269.
  83. R. P. B Singh, ‘Heritage contestation and context of religion: political scenario   from Southern Asia’, Politics and Religion, 2008, 1 Vol. II, pp. 79-99.
  84. UNESCO, Convention Concerning the Protection of the World Cultural and Natural Heritage.1972, Paris, UNESCO.
  85. G. Ashworth, and Tunbridge, J. Dissonant Heritage: The Management of the Past as a Resource in Conflict.1996, Chichester, Wiley.
  86. B. Mitchell, Resource and environmental management, 2002, (2nd edition) Harlow, Pearson Education limited.
  87. M.Stubbs, M. ‘Heritage-sustainability: Developing a methodology for the sustainable appraisal of the historic environment’, Planning, Practice & Research, 2004,19(3), pp. 285-305.
  88. B. Hopwood, Mellor, M. and O‘Brien, G. ‘Sustainable development: Mapping different approaches’, Sustainable development, 2005, 13, pp. 38-52.
  89. R.B. Gibson, Hassan, S., Holtz, S., Tansey, J. and Whitelaw, G. Sustainability Assessment: Criteria, process and applications, 2005, London, Earthscan.
  90. D. Rodwell, ‘Sustainability and the holistic approach to the conservation of historic cities’, Journal of architectural conservation, 2003, 1, pp. 58-73.
  91. C.M Hall, and McArthur, S. Integrated heritage management, 1998, London, The Stationary Office.
  92. Ibid.
  93. G. Wall,People outside the plans. W. Nuryanti (ed.), Tourism and culture: Global civilization in change? Proceedings of the Indonesia-Swiss Forum on Culture and International Tourism, 1996,Yogyakarta, Gadjah Mada University Press, pp.130-137.
  94. C.M. Hall, and McArthur, S. Integrated heritage management, 1998, London, The Stationary Office.
  95. G.Wall,People outside the plans, W. Nuryanti (ed.), Tourism and culture: Global civilization in change? Proceedings of the Indonesia-Swiss Forum on Culture and International Tourism, 1996, Yogyakarta, Gadjah Mada University Press, pp.130-137.
  96. R.W.Butler, ‘The concept of a tourist area cycle of evolution: Implications for management of resources’, 1980, Canadian Geographer, 24(1), pp. 5-12.
  97. R.W. Butler, ‘The concept of a tourist area cycle of evolution: Implications for management of resources’, 1980, Canadian Geographer, 24(1), pp. 5-12.
  98. Merriman, ‘Involving the public in Museum archaeology’, Merriman N. (ed.), Public Archaeology, 2004, London: Routledge. P. 2.
  99. Ibid.
  100. Ibid.p. 6.
  101. K. Smardz, The past through tomorrow, J. H. Jameson (ed.), Presenting Archaeology to the public, 1997, Lanham, MD: Alta Mira Press,pp. 101-113.
  102. Merriman, ‘Involving the public in Museum archaeology’, Merriman N. (ed.), Public Archaeology, 2004, London: Routledge. P.7.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.08.19 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

පුරාණ ලංකාවේ බලකොටු හා ඒ හා බැඳුණු ආරක්‍ෂක ක‍්‍රමවේද

එච්.එම්. ඉසුරු හේරත්

හැඳින්වීම

එච්.එම්. ඉසුරු හේරත්

පුරාතන සහ වර්තමාන ලෝකයේ බිහි වු ආරක්‍ෂක විශේෂඥයින් අනේකවිධ හේතු මත විවිධාකාර හැඩයෙන්, විශාලත්වයෙන් යුතු බලකොටු ඉදිකලහ. ඒවායේ ආරක්‍ෂාවට විවිධාකාර ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කළහ. ඇතැම් විට දේශපාලනික හෝ සමාජාර්ථික හේතු මත විවිධ උපක‍්‍රම යොදා බලකොටු අත්පත් කොට ගත්හ. සාහිත්‍ය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලට අනුව ලෝක ඉතිහාසයේ පැවති බලකොටු හෝ බලකොටු නගර අතර ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි ඇලමෝ (Alermo) බලකොටුව, ග‍්‍රීසියේ ඇතන්ස් (Athens) බලකොටු නගරය, ඉතාලියේ රෝමය (Rome), ඉන්දියාවේ දෞලතාබාද්, ගවාලියෝර්, රතු බලකොටුව, පාටලීපුත‍්‍රය, මධ්‍යම ආසියාවේ සමර්කාන්ඩ්, චීනයේ තහනම් නගරය, මැදපෙරදිග මැසඩා (Mazada) බලකොටුවට සිහියට නැගෙයි. යුරෝපාගමනයට පෙර පුරාතණ ලංකාවේ ද බලකොටු පැවති බවට සාධක අනුරාධපුරය, පොළොන්නරුව, උදුන්දොර, සීගිරිය, යාපහුව, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහනුවර යන ප‍්‍රදේශවලින් හමුවන බලකොටු නටඹුන් වැනි පුරාවිද්‍යාත්මක මුලාශ‍්‍රයන් සහ මහාවංශය, රාජාවලිය, උම්මග්ග ජාතකය වැනි දේශීය සාහිත්‍ය මුලාශ‍්‍රයන් මගින් ද ලැබෙයි. මීට අමතරව මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳව සෙනරත් පරණවිතාන, ටී.ජී. කුලතුංග, මාලිංග අමරසිංහ, විල්හෙලම් ගයිගර්, ඉන්ද්‍රකීර්ති සිරවීර, ඩී.ටී. දේවේන්ද්‍ර, ඇම්.බී. ආරියපාල, ජේ.එම්. සුධර්මාවතී, එල්ලාවල මේධානන්ද හිමි හා සේනක බණ්ඩාරනායක වැනි නූතන උගතුන් පර්යේෂණ පවත්වා තිබේ. වංශකථාවලට අනුව විජයාගමනය හා සබැඳි පුරාවෘත්තවල සීිර්සවත්ථුපුරය නම් ස්වදේශිකයන් අයත් බලකොටු නගරයක් පිළිබඳව විස්තර අන්තර්ගත වෙයි. එ සේම මහාවංශයේ මහත් අභිරුචියෙන් වර්ණිත දුටුගැමුණු කථා වස්තුවේ මාගම සිට මහවැලි ගඟින් උතුරට මහියංගනය, අම්ඹතිත්ථ, සත්බෑ කෝට්ටය, අන්තරා සොබ්භ, දෝණ, හාලකෝල, නාලිසොබ්භ, දිඝාභයගල්ල ඇතුළු බලකොටු 18ක් අල්වා ගත් බවට සඳහන් කරයි (මේධානන්ද 2002:50). ක‍්‍රිස්තු වර්ෂ 5 – 6 සියවසේදී ධාතුසේන රජතුමා ද දකුණු ඉන්දීය සතුරන් පරදවා දිවයින පුරා බලකොටු 21 සැකසූ බව ලක්දිව ඉතිහාසයේ සඳහන් වෙයි. ධාතුසේන රජුගේ අප‍්‍රධාන බිසවකගේ පුත් කාශ්‍යප රජතුමා ද සීගිරි බලකොටුව කර වු අතර පොළොන්නරු යුගයේ පාලකවරුන් වන 1 විජයබාහු, 1 පරාක‍්‍රමබාහු යනාදීහු ද ස්වකීය යුද්ධ ව්‍යාපාරවල දී තාවකාලික බලකොටු ඉදිකොට තිබේ. ක‍්‍රිස්තු වර්ෂ 1215 කාලිංග මාඝගේ ආක‍්‍රමණයට එරෙහිව ශ‍්‍රී ලාංකේය දේශපේ‍්‍රමීහු ගොවින්දහෙල, මිනිපේ, යාපහුව සහ දඹදෙණිය කේන්ද්‍රකොට ගෙන ප‍්‍රබල බලකොටු තනා දිවයිනේ සෙසු ප‍්‍රදේශ ආරක්‍ෂා කළහ. ක‍්‍රිස්තු වර්ෂ 15 නිශ්ශංක අලගත්කෝනාර යාපනයේ පාලකයාගේ බලපෑමෙන් ශ‍්‍රී ලංකාව බේරා ගැනීම සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුව ඉදි කළේය. ක‍්‍රිස්තු වර්ෂ 15-19 පැවති මහනුවර රාජධානි සමයෙහි ගලගෙදර, ගිරිහාගම, බලන වැනි යුදමය වශයෙන් වැදගත් මරමස්ථාන වල බලකොටු ඉදිකොට තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ යුරෝපීයයන් අාගමනයට පෙර ශ‍්‍රී ලංකාවේ පැවති බලකොටු ආශ‍්‍රිත ආරක්‍ෂක ක‍්‍රමෝපායෙන් පර්යේෂණ දෘෂ්ඨි කෝ්ණයෙන් හඳුනා ගැනීම ය. පර්යේෂණ ක‍්‍රමවේද වශයෙන් නිරීක්‍ෂණය සහ පුස්තකාල ගවේෂණ ක‍්‍රමය භාවිත කෙරිණි.

බලකොටු ආශ‍්‍රීත ආරක්‍ෂක ක‍්‍රමවේද

පුරාතන ලෝකයේ පෙර අපර දෙ දිග ජාතිහු බලකොටු, බලකොටු නගර, තාවකාලික කඳවුරු, සුරක්‍ෂිත කිරිම සඳහා විවිධාකාර ආරක්‍ෂක ක‍්‍රමෝපායන් ක‍්‍රියාගත කළහ. රෝමාන්වරු වඩාත් සුරක්‍ෂිත දරුණු වැටලීමකට (Siege) ප‍්‍රහාරයකට ඔරොත්තු දිය හැකි දෘඩ ගල්කුට්ටි, දැව හෝ ගඩොලින් නිම වු බලකොටු සහ තාවකාලික කඳවුරු (Camp) ඉදිකළහ. එහි සැලැස්ම බොහෝ විට ඍජුකෝණස‍්‍රාකාර හැඩයක් ගත් අතර තරමක උස් බිමක ගොඩනැංවිම සිරිත විය. බලකොටු සීමාව මුළුමනින්ම වෙලුම් (Vallum) හෙවත් ප‍්‍රාකාරයකින් නිර්මිත වු අතර එය ප‍්‍රධාන දොරටු හතරකින් සහ මුර අට්ටාල (Santry Towers) 12කින් සුරක්ෂිත විය. බලකොටු පවුරින් එපිට අවකාශය දිය හෝ මඩ අගලකින් (Pitch) සහ ලී උල් සහිත ලොකු කුඩා බොරුවලවලින් සමන්විත විය. පොදුවේ බලකොටු සහ බලකොටු නගර වල නේවාසිකව රාජකාරී කළ සෙබළු ලිමිටානියස්වරුන් (Limitanei) යනුවෙන් හැඳින්විය (හේරත් 2016:174-175). පෙරදිග ලෝකයේ බලකොටු සැකසීම පිළිබඳව විමසා බැලීමේ දී කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රයෙහි පෙන්වා දෙනු කරුණු වැදගත් වෙයි (බෂාම් 1962:176). අර්ථ ශාස්ත‍්‍රයට අනුව ජනපද සීමාවන්හි සිවු දිශාවෙන් යුද්ධයකට සුදුසු, ස්වභාවික ස්ථාන වල බලකොටු ගොඩනැංවිය යුතු වන අතර ජලයෙන් වටවුණු දූපතක ඉදිකරන බලකොටුව ඖධක වෙයි. ජලය, තෘණ ආදියෙන් තොර නිසරු ප‍්‍රදේශයක සකසන බලකොටු ධාන්වන වේ. ගස් කොළන් බහුල ස්ථානයක ඉදිකරන බලකොටුව වන දුර්ග වෙයි. කටු පදුරු වලින් ගැවසුන වගුරු බිමක ඉදිකරන බලකොටුව ඛජන නම වෙයි (කෞ. අර්ථ සාස්ත‍්‍රය 2003:134-135). මීට අමතරව බලකොටුවක් හෝ බලකොටු නගරය මුර අට්ටාල, දිය අගල් වලින් සමන්විත විය යුතු බව කෞටිල්‍ය පෙන්වා දෙයි. ඇතැම් විට කෞටිල්‍යයට මෙම බලකොටු හා සම්බන්ධ උපදෙස් ස්වකීය කෘතියට අන්තර්ගත කිරීමේ දී ඇකිමෙනිඩ් පර්සියානු අධිරාජ්‍යයේ බලකොටු තැනීමේ උපදෙස් මෙන්ම අපරදිග බලකොටු ඉදිකිරීමේ ක‍්‍රම ශිල්ප වලට ණයගැති වෙන්නට ඇත. මෙකල කෞටිල්‍ය සිටි තක්ෂිලාව කලක් පර්සියානු අධිරාජ්‍යයට යටත්ව පසුව තාවකාලිකව මහ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට යටත් වුණු එමෙන්ම ප‍්‍රකට කීර්තිමත් අධ්‍යාපන ආයතන වලින් සමන්විත නගරයකි. එබැවින් කෞටිල්‍ය මෙම උපදෙස් ස්වකීය ගෝලයා වන චන්ද්‍රගුප්ත මෞර්යයට ලබා දෙන්නට ඇත. එය වඩාත් තහවුරු වන්නේ බාහිර උවදුරු මැඩලා චන්ද්‍රගුප්ත ඉදිකළ පාටලීපුත‍්‍ර අගනුවර සැලසුම ඇකිමෙනිඩ් පර්සියානු අධිරාජ්‍යයේ අගනුවර වන පර්සි පොලිස් (Persipolis) වලට සමාන වීමෙනි. මෙය ස්පූනර් කළ කැනීම් මගින් වඩාත් තහවුරු විය. මෙගස්තිනස් පෙන්වා දෙන පරිදි පාටලීපුත‍්‍රය දුනුවායන්ගෙන් පිරිගිය මුර අට්ටාල 570කින් සහ ආරක්‍ෂිත දොරටු 64 සමන්විත, ශක්තිමත් දාරුමය ප‍්‍රාකාරයකින් අන්තර්ගත බලකොටු නගරයකි (බෂාම් 1962:176).

අනුරාධපුර බලකොටු නගරය (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

සිංහල රජදරුවන් සහ මෞර්යය රජදරුවන් අතර පැවති දේශපාලන සහ සංස්කෘතික සම්බන්ධතා, පෙර අපර දෙ දිග තානාපති සහ වෙළඳ සම්බන්ධතා, සංක‍්‍රමණ, ආක‍්‍රමණ, තුළ හමුදා ගෙන්වීම් වැනි අනිවාර්ය ඵෙතිහාසික සාධක නිසා ලංකාවට බලකොටු හා ඒ ආශ‍්‍රිත විවිධාකාර යුධ තාක්‍ෂණය ලැබෙන්නට ඇත. ඇතැම් විට එකී තාක්‍ෂණයන් ද එක්කාසු කරමින් සහ ස්වකීය තාක්‍ෂණික කුසලතා එකතු කර ගනිමින් පුරාතන ලාංකේය යුද්ධ විශේෂඥවරුන් ද බලකොටු, කඳවුරු බලකොටු නගර ඉදිකරවන්නට ඇති බවට සිතිය හැක. ඉපැරණි අනුරාධපුර, පොළොන්නරුව, සෙංකඩගල නුවර, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන බලකොටු (බලකොටු නගර) ජලය හා බැඳුණු බලකොටු ආරක්‍ෂණ විධික‍්‍රම භාවිත කොට තිබේ. නිදසුන් ලෙස අනුරාධපුරය, මල්වතු නිම්න ප‍්‍රදේශයේ ඉදිකොට අභය වැව, බුලන්කුලම වැව, නුවර වැව සහ තිසා වැව යන කෘතීම ජල දුර්ග, නගරයට මධ්‍යගත වන සේ ඒ අවට සුරක්‍ෂිතව නිර්මාණය කොට තිබේ (කුලතුංග 1988:151). ඇතැම් විට සතුරු උවදුරක දී වැව් කණ්ඩිය බිඳ දමා සතුරන්ව විනාශ කොට හෝ කොටු කොට බලකොටු නගරය සුරක්‍ෂිත වන සේ අනුරාධපුරය අවට මෙම ජල දුර්ග මාර්ග නිම කරන්නට ඇත. පොළොන්නරුව තෝපා වැවට සම්බන්ධ කොට තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුව දියවන්නා ඔයෙන් සහ වගුරු බිම් කඩකින් වට වී තිබේ. සෙංකඩගල නුවර (මහනුවර) මහවැලි ගෙඟන් සහ නුවර වැවෙන් සුරක්‍ෂිත වී ඇත. බලකොටු නගරයක් කවාකාර සතරැස් හෝ ඍජුකෝණාස‍්‍රාකාරව ඉදිකළ යුතු බවත්, සෑම පැත්තකින්ම එක් දණ්ඩක (දණ්ඩ යනු අඩි 6 කි.) අන්තරය සහිත වූ ද, දණ්ඩ 14, 12 සහ 10 අතර පළලින් යුතු දිය අගල් තුනක් ඉදිකළ යුතු ය. එහි ගැඹුර බවෙන් අර්ධයක් විය යුතු ය. අගලේ දෙ පැත්ත ගලින් හෝ ගඩොලින් සකසා වර්ෂය පුරා දිය අගලට ජලය ලැබෙන සේ නිමවා කිඹුලන් ඇති කළ යුතු ය. දිය අගල් වල අඩි 24ක් ඇතුළතින් අඩි 36ක් පමණ උසැති, එමෙන්ම පළල උස මෙන් දෙ ගුණයක් ඝනකමින් යුතු ගල් ප‍්‍රාකාරයක් ඉදිකළ යුතු ය. ගවයින් සහ අලීන් ලවා පාගවා ප‍්‍රාකාර පදනම ශක්තිමත් කොට විෂ කටු ගස් විශේෂ පැළ කළ යුතු ය (කෞ. අර්ථ ශාස්ත‍්‍රය 2003:134-135). ප‍්‍රධාන ප‍්‍රාකාරයට පසුව නියමිත දුර ප‍්‍රමාණයෙන් පළල මෙන් දෙගුණයක් පමණ උසින්වු අවශේෂ ප‍්‍රාකාර දෙකක් ගඩොලින් බැඳ අගල කටුවැලි සහ ජලයෙන් පිරවිය යුතුය (කුලතුංග 1988:152). යනුවෙන් කෞටිල්‍ය උපදෙස් රාශියක් ලබා දුන්න ද, බොහෝ කරුණු ගතානුගතික බව විල්හෙලම් ගයිගර් පෙන්වා දෙයි (ගයිගර් 1969:72). කෞටිල්‍යගේ කරුණු වල ප‍්‍රායෝගිකභාවය කෙසේ වෙතත් ලාංකිකයන් ද බලකොටුව අවට ප‍්‍රාකාර සහ දිය අගල් තැන වු බවට සාධක අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, යාපහුව, පඬුවස් නුවර බලකොටු සහ බලකොටු නගර පරීක්‍ෂා කිරීමේ දි පෙනී යයි (අමරසිංහ 2005:29).

කූටකණ්ණතිස්ස රජතුමා සත්රියන් උස ප‍්‍රාකාරයක් සහ අගලක් අනුරාධපුරය වටා ඉදිකළ අතර ක‍්‍රිස්තු වර්ෂ 1 සියවසේ දී වසභ රජතුමා පෙර සඳහන් කළ අගනුවර ප‍්‍රාකාරය රියන් 11 දක්වා උස් කොට සකසා දොරටු සතරෙහි මුරගෙවල් සතරක් නිර්මාණය කළ බව මහාවංශය පෙන්වා දෙයි (දේවේන්ද්‍ර 1970:155). මෙම ප‍්‍රාකාරය සැතපුම් 3/4 X 3/4 දිගින් යුක්තය. ථූපවංශයට අනුව එය උතුරේ සිට දකුණට පැවති දුරම පෙරදිගටත් බටහිරටත් වු බවට සඳහන් වෙයි. (ථූපවංශය 1959:17) සීගිරි බලකොටුව ප‍්‍රාකාර තුනකින් සහ දිය අගල් දෙකකින් සමන්විත ය. විශේෂයෙන් පිටත ප‍්‍රාකාරය මැටියෙන්ද මධ්‍ය ප‍්‍රාකාරය ගඩොලින් ද ඇතුළු ප‍්‍රාකාරය ගල්, ගඩොල් සහ මැටියෙන් ශක්තිමත් කර තිබේ (අමරසිංහ 2005:29).

පොළොන්නරුව බලකොටු නගරය (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

පළමු වන විජයබාහු, පළමු වන පරාක‍්‍රමබාහු යන රජ දරුවන් ද පොළොන්නරු බලකොටු නගරය වටා ප‍්‍රාකාර තුනක් සහ දිය අගලක් නිර්මාණය කොට තිබේ (කුලතුංග 1988:155). විශේෂයෙන්ම පොළොන්නරුව රාජ, සිංහ, හස්ති, ඉන්දු, හනුමන්ත, කුවේර, චණ්ඩි, රාක්ඛස, සර්ප, ජල, උද්‍යාන, මායා, මහාතිත්ථ, සහ ගාන්ධර්ව යනුවෙන් දොරටු 14ක් තිබු බව පෙනේ. මෙම දොරටු ඉහළින් ඇති තොරණේ දොරටුව කැඩිමට එන සතුරු ඇතුන් සහ සතුරන් මර්ධණයට කැකූරූ ලෝහ ගුලි සහ කකාලඋණ ලෝහ මැලියම් වක් කළ හැකි ස්ථාන තිබු බව වංශකථා වල සඳහන් විප්තපුරසටහනින් මොණවට පැහැදිලි වෙයි. එය මෙසේය.

“ඒ නුවර වනාහී පරිඛාත‍්‍රයක්ද උස් වු ද පවුරු තොරන්ය. ලොහොකම් කළ දොරය (යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙළිය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණන් හිඳි දෙදළින් ගල් සුණු ගඩොල් බිඳ යදොරට පැමිණියේය. තොරණ හුන් දෙමළු අනෙක ප‍්‍රකාර ආයුධයන් ද කකියා ගියලොහෝ ගුලි ද එ සේම කකාළ මැලියම් ද දැමුය. පිටලූ ලහටු දුමන කළ කඩොලැත් තෙමේ දුවමින්, වේදනාවෙන් මිරිකුණේ උදක ස්ථානයට ගොස් එහි ගිලිණි ….” (මහාවංශය 25 පරි; ගාථා 28-31).

ගෝපුර යනුවෙන් ද හැඳින්වෙන්නේ පෙර සඳහන් කළ දොරටුවට ඉහලින් සකසන ලද ආරක්ෂක නිවස්න විශේෂයකි (කුලතුංග 1988:160). දිය අගල්, ප‍්‍රාකාර සහ ගෝපුර වලට අමතරව අට්ටාල යනු බලකොටුවේ කොටු බැම්මේ දොරටුව සහ ප‍්‍රාකාරය තීරණාත්මක හෝ හදිසි අවස්ථා වල ආරක්‍ෂා කර ගැනීමේ දී සෙබලුන්ට ගැවසීම සඳහා නිමවා ඇති ඉදිරියට ගිය මැස්සක් වැනි කොටසක් බව පෙනේ. කොට්ඨක යනු, ප‍්‍රාකාරය හෝ දොරටුව විනාශ කිරීමට පැමිණෙන සතුරාට සැඟව සිට ප‍්‍රතිප‍්‍රහාර දීමට අට්ටාලයකට වඩා ප‍්‍රාකාරයේම ගොඩනංවන ආරක්‍ෂක කාමර විශේෂයකි. පළමු වන පරක‍්‍රමබාහු රජුගේ සෙනවියන් දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කළ සමයේ දී කුන්දුකාල් ප‍්‍රදේශයේ සකසන ලද බලකොටුව දෘඩ ගලින් කළ පවුරු තුනකින් ද දොරටු 12ක් සහ මධ්‍යයේ චතුස් ශාලාවකින් ද සමන්විත විය. මීට අමතරව තොරණ යනු බලකොටුවට ඉහළින් සකසා තිබෙන ආරුක්කු විශේෂයක් බවත් කඩොල් ඇතු දොරටුවට පහරදුන් විට තොරණේ කොටස් ඇතු මතට කඩා වැටීමෙන් පෙන්නුම් වෙයි (කුලතුංග 188:161).

සාමාන්‍යයෙන් බලකොටු නගරයක් ඇතුළු නුවර සහ පිටත නුවර යනුවෙන් කොටස් දෙකකට බෙදනු ලැබින. පාලකවරු, වෙනත් ප‍්‍රභූවරු, භික්‍ෂු කොටස් පූජනීය වස්තුවල වාසස්ථාන ඇතුළු නුවර ස්ථාපිත වු අතර පිටත නුවර රෝහල්, ධාන්‍යාගාර, බැරැක්ක, අශ්ව හෝ ඇත් ගාල, කම්මල්, භෝජන ශාලා ස්ථාපිතව පැවති බව අනුරාධපුර, සීගිරිය, සහ යාපහුව බලකොටු නිරීක්‍ෂණය කිරීමෙන් පැහැදිලි වෙයි. භූගෝලීය පදනමක් පැවතිය ද මහනුවර යුගයේ ද ගිරිහාගම, ගලගෙදර, සහ බලන බලකොටු බැලුම්ගල්වල හෝ බැලුම්ගල්වලට ආසන්න උස්බිම් වල නිමවා තිබිණි. ගිරිහාගම බලකොටුව චතරාස‍්‍රාකාර ඉදිරිපසින් සහ පසු පසින් දොරටු නිමවා තිබිණ. මහනුවර යුගයේ කපොලු ආශ‍්‍රිතව උස්බිම් වල හෝ බැලුම්ගල් වල කුඩා බලකොටු නිර්මාණය කරන්නට ඇත්තේ ඈත සිටම සතුරා හඳුනාගෙන ගිනි දල්වා අනතුරු සංඥා දී, පසුව ගරිල්ලා ප‍්‍රහාර දීම සඳහා විය යුතු ය (හේරත් 2016:60). එය වඩාත් තහවුරු වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1761 උඩරැටියන් සතුව පැවති ගිරිහාගම බලකොටුව අත්අඩංගුවට ගත් ෆේබර් නම් ලන්දේසී සෙබලෙකුගේ පහත දැක්වෙන ප‍්‍රකාශයකිනි.

“මෙම ස්ථානය ආරක්‍ෂා කර ගැනිමට සතුරාට ආයුධ උවමනා නැත. ගල් කැබලි විසි කිරීමෙන් පමණක්ම ඔවුන්ට අපව පසුබැස්සවීමට ඉඩ තිබිණ” (දේවරාජ 1997:17)

මීට අමතරව පළමු වන පරාක‍්‍රමබාහු රජුගේ සෙබලු මිහිරණ බිබ්බිල අසල ඉදිකරවන ලද තාවකාලික බලකොටුවක් සබැඳි මහාවංශ පුවතකින් බලකොටු ආරක්ෂණ ක‍්‍රමවේද පිළිබඳ තොරතුරු සමුදායක් ලබා ගත හැකි ය. එයට අනුව හෙල්ල උල් හා සමාන උල් සාදා පොළොවෙහි සිටුවන ලදී. මීට ලොකු උල් එකට වෙලා උල් පේළි දෙක අතර බොරු වළවල් සහිත පරිඛාවක් ද සාරවන ලදී. මෙවැනි පරිඛා අන් තැන්හි දී ද තනවන ලදී. පසුව කඳවුර වටා ඊ දෙකක් යන දුරින් පමණ පළලැති බිම් ප‍්‍රදේශයක කැලෑව කපා දමන ලදී. වනය හරහා වැටී තිබුණ අඩි පාර, පාවිච්චි කළ නොහැකි වන සේ උල් කටු දමා වැලි සහ වියළි කොළවලින් වසා දමන ලදී (බොරු වළවල්). මෙම දුර්ගය මැද තට්ටු සතරකින් යුත් ගොඩනැඟිල්ලක් සැකසිණ. සතුරු සේනාව ළං වු විට දුනුවායෝ මෙහි සිට ඊතල සහිත ගල් වර්ෂාවක් වැස්ස වුහ. තියුණු උලැති උණ කෝටු පත්තුකොට සතුරු සේනාව මැදට යන්ත‍්‍රවලින් විසි කරන ලදී (මහාවංශය 1996:177). විධිමත් සැලසුමකට අනුව ඉදිකරවන ලද පඬුවස්නුවර බලකොටුව දිය අඟල් සහ පවුරුවලින් විශිෂ්ට ලෙස සුරක්ෂිත කර ඇත. පඩා වැවෙන් මෙහි දිය අඟල්වලට ජලය සැපයු බව පෙනේ. ගඩොලින් සකසා බදාමයෙන් කපරාරු කොට ඇති මෙහි පවුර උතුරේ සිට දකුණට මීටර් 300ක් පමණ දිගු වන අතර නැගෙනහිර සිට බටහිරට එය මීටර් 330කි (අමරසිංහ 2005:33). වංශකථාවලට අනුව එම බලකොටුවෙහි ද වාසල්, අට්ටාල සහ ගෝපුරවලින් ආරක්ෂාකොට තිබිණි (අමරසිංහ 2005:33). තුන්වන විජයබාහු රජු ක‍්‍රිස්තු වර්ෂ 13වන සියවසේ ඉදිකරවන ලද දඹදෙණි පර්වත මස්තකයේ පිහිටි බලකොටුව කළුගල් පවුරකින්, මැටි පවුරකින් සහ දාරුමය ප‍්‍රාකාරයකින් වටකොට තිබු බව දඹදෙණි අස්න වාර්තා කරයි. සුබ නම් සෙනෙවියෙකු විසින් කරවන ලද යාපහුව බලකොටුව ස්වභාවික පර්වතයට අළලා අර්ධ කවාකාර ප‍්‍රාකාර සහ දිය අඟල්වලින් නිමවා තිබේ. බලකොටුවට පිවිසීමට දොරටු ද්විත්වයක් නිමවා ඇත. මෙහි දි ඇතුළු නුවර සහ පිටත නුවරකින් ද සමන්විත ය (විජයවර්ධන 2011). ඇතැම්විට යාපහුව බලකොටුව ඉදිකිරිමේ දී අග්නිදිග ආසියාතික බලකොටු තාක්ෂණය බලපාන්නට ඇත. සීගිරිය බලකොටු නගරයෙහි ප‍්‍රධාන දොරටු තුනක් තිබිණි. එයින් ප‍්‍රධාන දොරටුව බටහිර දෙසින් වු අතර යුරෝපයේ කාසල් බලකොටු (Castles) මෙන් හැකිලිය හැකි පාලමකින් (Drawbridge) නිර්මිත විය. සෙසු උතුරින් සහ දකුණින් පිහිට් දොරටු ද ගඩොලින් නිමවා හැකිලිය හැකි යකඩ දොරවල්වලින් සකසා තිබිණ. සීගිරි බලකොටු නගර නිර්මාණයෙ දී සුදු කන්ද, ඇලහැර, කණ්ඩලම, රිටිගල, දඹුල්ල යන කදුවලින් මෙන්ම පිදුරංගල, මාපාගල යනාදී බැලුම්ගල්වලින් ද ස්වභාවික ආරක්ෂාව ලබාගෙන තිබේ (අමරසිංහ 2005:31). මීට අමතරව සිංහ සෝපානය සහිත පර්වත මස්තක රාජමාළිඟාව ඈතින් පෙනෙන සතුරෙකුට කිසියම් බියක් ගෙනදෙන ආකාරයට සැලසුම් සහගතව නිමකරන්නට ඇත.

ශ‍්‍රී ජයවර්ධනපුර කෝටිටෙි බලකොටුව (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

ක‍්‍රිස්තු වර්ෂ 15 වන සියවසේ දී ලාංකීකයන් ඉදිකළ තවත් ප‍්‍රබල බලකොටුවක් වන්නේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ය. මඩ ගොහොරු සහිත වු නිසා ද උතුරු, බටහිර, සහ නැගෙනහිර දිශාවන්ගෙන් වක‍්‍රව ගලන දියවන්නා ඔයෙන් වට වීම නිසා කෝට්ටේ බලකොටු භූමිය වු දාරු ග‍්‍රාමයට ඇතුළු විය යුත්තේ දකුණේ පිහිටි කුඩා පටු බිම් තීරුවකිනි. නිශ්ශංක අලගක්කෝනාර විසින් දාරු ග‍්‍රාමය වටා ගැඹුරු දිය අඟලක් සහ කළු ගල් ප‍්‍රාකාරයක් සකසන ලදී. නිම්නයට ප‍්‍රවේෂ වන පටු භූමිය ද වටකොට ප‍්‍රාකාර ඉදි කෙරිණ. තව ද ප‍්‍රාකාර බැම්මේ ඉවුරු දෙක අතර අඩි දහයක් පමණ නිසා එම ප‍්‍රදේශයේ මුර සෙබලුන්ට මුර සංචාර කළ හැකි විය. පවුරු පිටත වේදිකාවේ ආරක්ෂාව වර්ධනය කරමින් මුර අට්ටාල, යකඩ කුරූ (ඉදංගනී), බොරුවලවල් (වට්ට වෙට්ට), ලී උල් (මරාල) සහ කොටි මුුහුණක ආකාරයෙන් යුත් උගුල් (පුලිමුඛම්) සකසා තිබු බව නිකාය සංග‍්‍රහය උපුටා දක්වන ඉන්ද්‍රකිර්තී සිරිවීර පෙන්වා දෙයි (සිරිවීර 2013:84). පෙර දක්වන ලද බලකොටු ආරක්ෂක විධික‍්‍රම බොහෝමයක වචන දෙමළ සහ මලයාලම් පදවලින් නිෂ්පන්න වු ඒවා වෙති. එසේම කෝට්ටේ (දෙමළ කොට්ටි) බලකොටු තාක්ෂණය ද්‍රවිඩ සම්භවයක් සහිත පෙළපතකින් එන අලගක්කෝනාර ස්වකීය මුතුන්මිත්තන් සිටී මුල් භූමියෙන් රැගෙන එන්නට ඇතැයි සැලකීම සාධාරණ ය. බලකොටු ආරක්ෂණ විධික‍්‍රමවලට අමතරව ඒවා තුළ සිටින සෙබලුන් සහ ජනතාවගේ චිත්ත ධෛර්ය වර්ධනය කරනු පිණිස සහ ඇඳහිලි කිරීම පිණිස කුඩා ආගමික ස්ථාන ඉදිකෙරිණ. නිදසුන් ලෙස ක‍්‍රිස්තු පූර්ව 4වන සියවසේ දී පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර බලකොටු නගර අවට දිශාවන්හි චිත්ත රාජ, කාලවේල, වලවාමුඛි, පශ්චිම රාජිනි වැනි ස්වදේශීක අධිභෞතික චරිත ඇදහීමට දේවාල සැකසු අතර, කෝට්ටේ බලකොටු ඉදිකළ අයවලුන් විසින් බලකොටුව තුළ විභිෂණ, සමන්, ස්කන්ධ, උපුල්වන් යන ප‍්‍රචලිත දෙවිවරු ඇදහීමට කුඩා පූජනීය ස්ථාන ඉදිකරවන ලදී. ඒවායේ භාරකරුවන්ට නිරතුරුවම ආගමික වතාවත් කරවන ලෙස අධිපතිවරු නියම කළ බව කෝට්ටේ බලකොටුව පිළිබඳව තොරතුරු වාර්තා කරන නිකාය සංග‍්‍රහය පෙන්වාදෙන්නේ මෙපරිද්දෙනි.

“…පවුර මුදුනෙහි සතර දිග ආරක්ෂා පිණිස සිරිලක අරක්ගත් කිහිරැලි උපුල්වන්, සමන් බොක්සැල්, විභිෂණ, ස්කන්ධ කුමාර යන සතරවරම් මහරජුනට වෙන වෙනම දේවස්ථාන කරවා අනෙක ප‍්‍රකාර භේරි, තූර්ය, නෘත්‍ය, ගීත වෘත්තාදියෙන් නිරන්තර පුජෝත්සව පවත්වන සේ ව්‍යවස්ථා කරවා…” (නිකාය සංග‍්‍රහය 1997:32)

යාපහුව බලකොටුව (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

මීට අමතරව බලකොටු සුරක්ෂිත කිරිමට නිලබල ක‍්‍රමයක් ද පුරාතන ලංකාවේ පැවති බව පෙනේ. බලකොටු, බලකොටු නගර ආරක්ෂා කිරීමට නූතන නගරාධිපතිවරුන්ට තරමක් සමාන නගර ගුත්තික නම් තනතුරක් පැවති බව වංශ කථාවල සඳහන් වෙයි. නිදසුන් ලෙස පණ්ඩුකාභය රජතුමා ස්වකීය මාමා වු නගර ගුත්තික නම් තනතුරක් ප‍්‍රධානය කොට දිවා කාලයේ සහ විශේෂයෙන් රාත‍්‍රී කාලයේ දී නගරය ආරක්ෂාව ඔහු වෙත පවරන ලදී. නගර දොරටු වැසීම, ගෝපුර, මුර අට්ටාලවල සෙබලුන් පරීක්ෂා කිරීම, නගරාරක්ෂක බලකොටු (Garrision), මුර අට්ටාල, ගෝපුර, ප‍්‍රාකාර අලුත්වැඩියා කොට දියඅඟල් පිරිසිදු කිරීම සහ මළමිනි නගර ප‍්‍රාකාරයෙන් පිටත පිහිටි සොහොනට ගෙන යාමට කසල ශෝධකයින් (Cleaners) සහ සොහොන් පල්ලන් (Undertakers) මෙහෙයවීම යනාදිය නගර ගුත්තික අතින් ඉටුවන්නට ඇත. මහනුවර යුගයේ දී රජ මාළිඟාව සහ නගරය ආරක්ෂා කිරීම සඳහා අතපත්තුවේ කාර්යංශය සහ මඩුවේ කාර්යංශය යන සේනාංක දෙකට පවරා තිබිණි (හේරත් 2016:59). පරාක‍්‍රමබාහු රජතුමාගේ යුද්ධ සෙනෙවියන් අතර මායාගෙයිනාථ හෙවත් මායා රටේ පාලකයාගේ බලකොටුව හෝ රජ මාළිඟාවේ ආරක්ෂාව භාර නිළධාරියෙකු ද සිටි බව පෙනේ. බලකොටු දොරටු ආරක්ෂා කිරීම දේවාරික නම් ආරක්ෂක නිළධාරි පිරිසක් ද සේවය කළහ. රාජකීය මාළිඟාව, ප‍්‍රභූ නිවාස, අන්තඃපුර, ආරක්ෂාවට කුලීන නිර්භීත, සෙබලු මෙන්ම නපුංසක සෙබලු සහ කාන්තා ආරක්ෂක නිළධාරීන් සේවය කළ බවට සාධක ඇත. මහනුවර යුගයේ සිටි දුක්ගන්නාරාළ, දුක්ගන්නා උන්නැන්සේලා, සැතපෙන ගෙයි අප්පුලා වැනි නිළධාරින් මේ සඳහා පෙන්වාදිය හැකි කදිම නිදසුන් ය. වාසල මුකංවිට්ට්, වාසල මුදලිවරු, වාසල මුහම්දිරම්වරු, වාසල ඒකනායක වැනි රජමාළිඟාවේ ආරක්ෂාවට සිටි අවශේෂ නිළධාරින්ය (විමලකිර්ති 1947:175). මහනුවර යුගයේ දී මොවුන්ගේ කාර්යභාරය වු මහාවාසල මුර කිරීම, සෙබලු මෙහෙයවීම යනාදියට සීමා විය. තව ද රාජ ද්‍රෝහී කුමන්ත‍්‍රණකරුවන් සහ අකාර්යක්ෂම සෙබලුන් සහ නිළධාරින් සොයා බලා වාර්තා කිරීමටත්, අත්තඩංගුවට ගැනීමට බලකොටු නගර ආශ‍්‍රීතව විධිමත් ඔත්තු සේවයක් පැවති බවට සාක්ෂි ඇත (හේරත් 2016:71). මහනුවර නගරයට පිවිසිය හැකි සෑම මාර්ගයකම කඩවත් මුරපොළවල් ගොඩනගා තිබිණි. ඒවායේ ඉහළ පහළට වැසිය හැකි කටු දොරවලින් සමන්විත විය. මේවායේ සේවය කළ අයවලුන් කටුපුරුල්ලේවරු නම් විය. මෙම මුර පොළවල් (Outpost) හරහා යාමේ දී නූතන පාස්පෝට්වලට සමාන මුද්‍රා විශේෂයක් භාවිත කරන ලදී. එම මුද්‍රාව ජාති, පන්ති, වෘත්තීන්වලට අයත් ජනතාවට අනුව වෙනස් වු බව රොබට් නොක්ස් පවසයි (එදා හෙළදිව 1992:81). පෙර සඳහන් කළ බලකොටු රැක ගැනීමේ ක‍්‍රමවේදවලට උම්මග්ග ජාතකයේ සඳහන් යුධ උපක‍්‍රම ද එකතු කළ හැක. උම්මග්ග ජාතකයේ සඳහන් බලකොටු රැකගැනීමේ යුධ උපක‍්‍රම වන්නේ මියුලු නුවර ආක‍්‍රමණය කිරීමට සැරසෙන බ‍්‍රහ්මදත්ත රජුගේ සතුරු සේනාවට වැලි ගසා පසව ප‍්‍රාකාරවල සිට ඊ හෙළි ප‍්‍රහාර එල්ලකොට මර්ධනය කිරීම වැදගත් ය. නගර ප‍්‍රාකාරවල සිට රසවත් ආහාරපාන භුක්ති විඳිමින් ගී ගයමින් සැණකෙළි පවත්වමින් කිපෙන සුලු විකාර කථා පවත්වමින් සතුරාගේ යුධකාමී මනස දුර්වල කිරීම හෝ සංග‍්‍රාම පීඩනය (Combat stress) ඇතිවන ආකාරයට කටයුතු කිරීම ද තවත් බලකොටු ආරක්ෂණ යුධ උපක‍්‍රමයකි. පෙර සඳහන් කළ උපක‍්‍රම මධ්‍ යකාලීන යුගයේ දී භාවිත කළ බව උම්මග්ග ජාතකයේ පහත දැක්වෙන ප‍්‍රකාශනයෙන් පැහැදිලි වෙයි.

“…ඒ බස් අසා බලසම්පන්න යෝධයෝ නොයෙක් ආයුධ ගත් අත් ඇති වර නුවර ගනුම් හයි පවුරු වාසල් සමීපයට ගියාහු බෝධී සත්වයන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද කලල් වැලි ආදීයෙන් මහා විනාශයට පැමිණිද නුවර බිඳිනා තබා පුර සමීපයටත් යා නොහී නැවත යන්නාහ. බදින් සමහර කෙනෙක් නොනැවතී, පවුර බිඳුම් හයි වාසි කියා සාහසිකව වැ ඊ දඬු මුණ කොහොල් තොමර හෙණ්ඩි වාලාදීන් දමා ගසා මහා විනාශයට පමුණුවන්නාහ. බෝධී සත්වයන් වහන්සේගේ යෝධයන් බ‍්‍රහ්ම දත්තයන්ගේ යෝධයන්ට අතින් මුහුණන උසුළු පෑ නොයෙක් ප‍්‍රාකාරයෙන් අක්‍රෝෂ පරිභව බෙනෙමින් ගැහැට කරන්නාහ. මච්ච මාංස හා කන බොන දෑ හා රා විත් ඔඩම් යනාදිය පුරා ගෙන පිටත සිටිය වුනට දික්කර පුළු ගන්වා නැවත තුමු වැ කන්නාහ. බොන්නාහ. මෙසේ සතුරන් කිපෙන සුලු වු නොයෙක් විකාර කරමින් පවුරින් ඇතුලේ පදනමැ උනට පෙනෙන නියායෙන් සක්මන් කරන්නාහ” (උම්මග්ග ජාතකය 2001:112)

මහනුවර බලකොටු නගරය (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් උපක‍්‍රමශිලීව සතුරු සෙනා නොමග යවා ඔවුන් චණ්ඩ කිඹුලන් සහ මෝරුන් පිරි දිය අගල්වලට යොමු කිරීමේ යුධ අපක‍්‍රමයක් ද උම්මග්ග ජාතකයේ අන්තර්ගත ය. ක‍්‍රිස්තු වර්ෂ 11 සියවෙස් දී පළමු වන විජයබාහු රජතුමා චෝලයන්ගෙන් පොළොන්නරු නගරය අල්වා ගැනීම සඳහා සිදු කළ දීර්ඝ වැටලීමේ දී රවි දේව, චල නම් ඔත්තුකරුවන් දෙදෙනෙකු යොදවා නගරයේ දොරටු ඇර තිබේ (මහාවංශය 58:පරි 56:58 ගාථා). බලකොටුවක්, බලකොටු නගරයක් හා කඳවුරක් ඉදිකිරිමේ දී භූගෝලීය සහ දේශපාලන කරුණු මෙන්ම සංස්කෘතික කරුණු ද බලපා තිබේ. එනම් බලකොටු නගර ඉදිකිරිමේ දී ඒවාට නම් ලෙස පුලස්ථිපුරය, ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, සෙංකඩගල නුවර වැනි මනා පෞර්ෂයක් ගෙන එන නම් යොදා තිබේ. එසේම ආරක්ෂක නිවස්න නැකැත්වලට අනුව ද නිමවා තිබෙන බව අනුර නැකතකින් අනුරාධපුරය ඉදිකිරිමෙන් පැහැදිලි වෙයි. සෙංකඩගල ශී‍්‍ර ජයවර්ධනපුරය ගොඩනැංවුණු භූමිය හා සබැඳි බොහෝ ජනප‍්‍රවාද වලින් ද පෙන්වාදෙන්නේ එය පීඩිතයන්ට ජයක්, අහිංසකයාට නිවහනක් සපයන්නක් මෙන්ම ක්ෂේම භූමියක් හෝ විජය භූමියක් ලෙසය (හේරත් 2016:34). සම කාලීන පාලකයාගේ හෝ බලකොටු නිර්මාතෘවරයාගේ හෝ ආගමික නායකයෙකුගේ නමකින් බලකොටු හඳුන්වා දුන් බව ද පෙනෙයි. මෙම නාමකරණයන්ගෙන් ද පැහැදිලි වන්නේ මනා පෞර්ෂයක් සහිත නාමයකින් සතුරා බියක්, කුකුසක්, සැකයක් ඇතිවන ආකාරයට බලකොටු හැඳින් වූ බවයි. මෙම සියලු කරුණු සමාලෝචනය කර බැලීමෙන් පෙනී යන්නේ යුරෝපීයයන් අාගමනයට පෙර ශී‍්‍ර ලාංකීකයන් සතුව දියුණු බලකොටු හා බැඳුණු ආරක්ෂණ ක‍්‍රමවේද පැවති බවට ෙපන්වා දිය හැකි ෙව්.

ආශී‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

  • මහාවංසය (1996), හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි හා දේවරක්ෂිත පඬිතුමා සංස්. කොළඹ, ජතික කෞතුකාගාර දේපාර්තමේන්තුව.
  • කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය (2003), පරි. හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, කොළඹ, එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • නිකාය සංග‍්‍රහය (1997), කුමාරතුංග මුනිදාස, සංස්. කොළඹ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල ථූපවංශය (1959), රංජිත් වනරත්න, සංස්. කොළඹ, සමයවර්ධන සහ සමාගම.
  • උම්මග්ග ජාතකය (2001), රංජිත් වනරත්න, සංස්. කොළඹ, සමයවර්ධන සහ සමාගම.
  • කුලතුංග, ටී.පී. (1988), මධ්‍යකාලීන ලංකාවේ ආරක්ෂක සංවිධාන, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • හේරත් ඉසුරු (2016), කන්ද උඩරට ගරිල්ලා යුධ උපක‍්‍රම, ජා ඇළ, සමන්ති ප‍්‍රකාශකයෝ.
  • අමරසිංහ, මාලිංග (2005), පුරාණ ලක්දිව රජමාළිගා, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • බෂාම්, ඒ.ඇල්. (1962), අසිරිමත් ඉන්දියාව, කොළඹ, අධ්‍යාපන ප‍්‍රකාශන දේපාර්තමේන්තුව.
  • ගයිගර්, විල්හෙලම් (1969), මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය, කොළඹ, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම.
  • විජයවර්ධන, කුසුම්සිරි (2011), යාපහුව පුරාණ රාජධානිය, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • පරණවිතාන, සෙනරත් (2014), පුරාවිදු පර්යේෂණ, බොරලැස්ගමුව, විසිදුණු ප‍්‍රකාශකයෝ.
  • සිරිවීර, ඉන්ද්‍රකිර්තී (2019), ඉතිහාස තරංග, වරකාපොළ, ආරිය ප‍්‍රකාශකයෝ.
  • මේධානන්ද, එල්ලාවල හිමි (2002), සිංහලයේ විමුක්තිදායකයා, දුටුගැමුණු මහරජතුමා, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • දේවරාජ, ලෝනා (1997), කන්ද උඩරට රාජධානිය, කොළඹ, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව.
  • දේවේන්ද්‍ර, ඞී.ටී. (1970), සඳකඩ පහන සහ වෙනත් ලිපි, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • මැද උයන්ගොඩ, විමලකිර්තී හිමි (1949), සිංහල ආණ්ඩුව, කොළඹ, අනුලා මුද්‍රණාලය,.
  • හේරත්, ඉසුරු (2016, රෝම අධිරාජ්‍යයේ ප‍්‍රබවය, ජා ඇළ, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ.
  • ආරියපාල ඇම්.බී. (2014), මධ්‍යකාලීන ලංකා සමාජය, කොළඹ, අධ්‍යාපන ප‍්‍රකාශන දේපාර්තමේන්තුව.
  • ලියනගමගේ, අමරදාස හා රණවීර ගුණවර්ධන (2014), අනුරාධපුර යුගය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
  • නෙල්සන්, ඩබ්ලිව්.ඒ. (2011), ශී‍්‍ර ලංකාවේ ලන්දේසි බලකොටු, කොළඹ, සුරිය ප‍්‍රකාශකයෝ.
  • Siriweera, W.I. & Sanath Silva (2017), Warfare in Sri Lanka, Colombo, Sarasavi publishers.
  • Oppert, G. (1972), on the weapons,A rmy organization and political maxims of antient Hindus, Madras, Madras University press.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.08.15 වැනි දින  www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

archaeology.lk ‌‌වෙතින් ගාස්තු‌වෙන් 40%ක් : පුරාවිද්‍යා දත්ත දෘශ්‍යකරණය හා විශ්ලේෂණය පිළිබඳ භූගෝලීය තොරතුරු පද්ධති වැඩමුළුව

පුරාවිද්‍යා දැනුම ෙබදාහදා දීම සම්බන්ධ දිවයිෙන් ප්‍රමුඛතම ෙවබ් සමූහය වන archaeology.lk කණ්ඩාය‌මේ ප්‍රමුඛ අරමුණකි, වර්ධිත නව තාක්ෂණය පුරාවිද්‍යාවට හඳුන්වා දීම. 2019 අගොස්තු මස 31 දින හා සැප්තැම්බර් මස පළමු දින පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘පුරාවිද්‍යා දත්ත දෘශ්‍යකරණය හා විශ්ලේෂණය කිරීම පිළිබඳ භූගෝලීය තොරතුරු පද්ධති පුහුණු වැඩමුළුව’ (GIS Training Workshop: Visualizing and analyzing Archaeological data) දෙ දින වැඩමුළුව අපගේ ‌මෙම අරමුණ හා අනුයාත වැදගත් පුහුණු වැඩමුළුව ‌‌ලෙස හඳුනා ගන්නා ලදි.

archaeology.lk ‌‌කණ්ඩාය‌මේ දස වන සංවත්සරයට සමගාමීව ‌මෙම පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වන විද්‍යාර්ථයන් පස් ‌‌දෙනෙකු සඳහා වැඩමුළු ගාස්තු‌ෙවෙන් 40%ක අර්ධ ශිෂ්‍යත්වයක් ලබා දීමට අප කණ්ඩායම තීරණය කර ඇති බව සතුටින් දැනුම් ‌දෙනුු ලබයි. ‌මෙම ශිෂ්‍යත්ව ලබා දීෙම් දී විශ්වවිද්‍යාල උපාධි අෙප්ක්ෂකයින් සඳහා ප්‍රමුඛතාවක් ලබා ‌දේ.

මෙම අර්ධ ශිෂත්වය ලබා ගැනීම සඳහා ප්‍රථමයෙන් සම්පූර්ණ ගාස්තුව ගෙවා වැඩමුළුව සඳහා ලියාපදිංචි විය යුතු ය. වැඩමුළුවේ අවසානෙය් පූර්ණ වශෙයන් වැඩමුළුව සඳහා සහභාගී වු ‌තෝරා ගන්නා සිසුන් පස් ‌දෙනෙකුට ‌මෙම අර්ධ ශිෂ්‍යත්ව ලබා දීමට අෙප්ක්ෂා කරනු ලැෙබ්.

වැඩි විස්තර සඳහා 0777428282 / 0718429393.

මහනුවර, නාගරික උරුම සංරක්ෂණය හා ප‍්‍රජා සහභාගීත්වය

අරුණ රාජපක්ෂ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

හැඳින්වීම

ආචාර්ය අරුණ රාජපක්ෂ

උරුම සංරක්ෂණය බහුවිධ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදු වන කි‍්‍රයාදාමයක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් උරුම ක්ෂේත‍්‍රය තුළ සහ හාත්පස ජීවත් වන ප‍්‍රදේශීය ප‍්‍රජාව නො සලකා හැරීමේ හෝ ප‍්‍රතිලාභ අහිමි වීමේ තත්වයකට මුහුණ පෑමට සිදු වී ඇත. උරුම කළමනාකරුවන් හා සැලසුම්කරුවන් මුහුණ දී ඇති ප‍්‍රබල අභියෝගයක් වන්නේ උරුම සම්පත් සංරක්ෂණය සහ ප‍්‍රජා යහසාධනය අතර තුලනයක් ඇති කිරීම ය. දියුණු වෙමින් පවතින රටවල උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දී සහ සංවර්ධනයේ දී පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම හා සහයෝගය ප‍්‍රවර්ධනය කිරීම සඳහා විවිධ කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත්තේ ඉන් අතළොස්සක් පමණි. මෙහි දී තර්ක කරන්නේ තිරසාර උරුම සංරක්ෂණය හා තිරසාර ප‍්‍රජා ජීවන පැවත්ම අවියෝජනීය ලෙස සම්බන්ධ වූ කාරණාවන් බවත්, උරුම සැලසුම්කරණයේ ප‍්‍රධාන අරමුණ විය යුත්තේ උක්ත කාරණා අතර විඝටනාත්මක තත්ත්වයන් අවම කිරීම තුළින් සමස්ත තිරසාරභාවය උදා කිරීම බවත්ය. පර්යේෂකයින් ඔවුන්ගේ න්‍යායාත්මක අධ්‍යයන සහ භාවිතාව තුළන් පෙන්වා දෙන කරුණක් නම් පාර්ශ්වකරුවන්ගේ සම සහභාගීත්වය සහ සහයෝගීතාව මෙන් ම ප‍්‍රදේශීය ප‍්‍රජා මැදිහත්වීම උරුම කළමනාකරණයේ අරමුණ හා පරමාර්ථ සඵල කර ගැනීම සඳහා ඉතා වැදගත් බවයි. Luxen (2004) පෙන්වා දෙන පරිදි උරුම කළමනාකරණ ක්ෂේත‍්‍රය තුළ ඉතා විවේචනාත්මකව සංවාදයට බඳුන්ව වන ගැටලු වන්නේ උරුමය කාගේ ද? කවුරුන් විසින් නිර්වචනය කරනු ලබන්නේ ද? කවුරුන් සඳහා ද? කෙසේ සංරක්ෂණය කළ යුතු ද? සංරක්ෂණය කළ යුත්තේ ඇයි? කවුරුන් සඳහා සංරක්ෂණය කරන්නේ ද? ආදියයි. උරුමය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය දශක කීපය තුළ විශේෂයෙන් ජගත් උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණ ප‍්‍රතිපත්ති මූලධර්ම සහ ප‍්‍රවේශ ඍජුවම බටහිර බලපෑමට ලක් වී ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මට්ටමින් හා ජාතික මට්ටම්වලින් උරුමය ආරක්ෂා කිරීම හා කළමනාකරණය සම්බන්ධ වන නීතිරීති සහ සම්මුති සකස් වීමේ ප‍්‍රවණතාවක් දැකගත හැකි අතර, එම බටහිර කේන්ද්‍රීය ද්‍රව්‍ය මූල සංරක්ෂණ ප‍්‍රවේශයන්ගේ විශේෂත්වයක් වන්නේ ඇතැම් ආගමික පූජනීය උරුම ක්ෂේත‍්‍රයන්ගේ සංකීර්ණ ජීවමාන මානය ආමන්ත‍්‍රණය කිරීමට සමත් නො වන සරල සහ රේඛීය භාවයයි. මෙම පර්යේෂණය තුළින් උත්සාහ කරන්නේ පසුගිය දශක තුන තුළ සංරක්ෂණයට බඳුන් වූ පූජනීය ජගත් උරුම නගරයක් වන මහනුවර නගරය ආශ‍්‍රය කර ගනිමින් උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණ ප‍්‍රවේශයන් නැවත පරීක්ෂා කර බැලීමකි. පසුගිය දශක කීපය තුළ මහනුවර පූජනීය නගර සන්දර්භය තුළ නූතනත්වය හා සාම්ප‍්‍රධායිකත්වය යන උභතෝකෝටිකය අතර විඝටනාත්මකව වර්ධනය වෙමින් පවත්නා වූ ප‍්‍රවණතා හා ගැටලු රැසක් හඳුනාගත හැකි ය. ඒවා නාගරික සන්දර්භයේ මානව, සාමාජීය, ආර්ථික, භෞතික හා ආයතනමය මානයන් හා ඍජුවම සම්බන්ධ ය. මෙම පර්යේෂණය තුළින් පූජනීය ජගත් උරුම නගර සංරක්ෂණ හා කළමනාකරණ අර්බුද මෙන් ම වෘත්තිකයන් අනුගමනය කළ නෛතික, පරිපාලන හා සැලසුම් ප‍්‍රවේශ ඇගයීමට ලක් කෙරේ.

මෙම පර්යේෂණයේ ස්වභාවය සලකා බැලීමේ දී, සංස්කෘතික උරුම සම්පත් ඇගයීම, උරුම ස්ථාන පරිවර්තන ක‍්‍රියාවලිය (සැලසුම් හා සැලසුම් ක‍්‍රියාත්මක කිරීම) ඇගයීම, අපේක්‍ෂා හා අත්දැකීම් ඇගයීම, සිදුකරන බැවින් ප‍්‍රධාන වශයෙන් ගුණාත්මක ක‍්‍රමවේද ද අතිරේක වශයෙන් ප‍්‍රමාණාත්මක දත්ත ද භාවිත කෙරෙන මිශ‍්‍ර උපායමාර්ග ප‍්‍රත්‍යෙක අධ්‍යයන ප‍්‍රවේශය, සහභාගීත්ව ප‍්‍රජා ඇගයීම් ප‍්‍රවේශය, සැලසුම් ඇගයීම් ප‍්‍රවේශය ප‍්‍රධාන වශයෙන් උපයෝගි කොට ගන්නා ලදි. මෙම පර්යේෂණය ජගත් උරුම ක්‍ෂේත‍්‍රය තුළ උරුම සංරක්‍ෂණය සහ ප‍්‍රජා සහභාගීත්වය පිළිබඳව වන බැවින් තත් ක‍්‍රියාදාමයන්හි පාර්ශ්වකරුවන් වන ප‍්‍රාදේශීය ප‍්‍රජාව, සංචාරක ප‍්‍රජාව, උරුම කළමනාකරණ ප‍්‍රජාවගේ අදහස්, ආකල්ප සහ හැසිරීම ඉතාම ප‍්‍රයෝජනවත් වන බැවින් සහභාගී නිරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා, ක්‍ෂේත‍්‍ර අධ්‍යයන ආදී ක‍්‍රමවේද භාවිත කෙරිණ.

නගර සංරක්ෂණය සහ ප‍්‍රජා සහභාගීත්වය

නගර සංරක්ෂණ (Urban conservation) සංකල්පය නූතන යුගයේ අදහසකි. නූතන අදහසින් ඓතිහාසික නගර උරුමයේ නියෝජනයක් ලෙස නිර්වචනය වන්නේ 19 වන සියවසේ අග භාගයේ දී හා 20 වන සියවසේ මුල් භාගයේ දීය. දහනව වන සියවස අග භාගයේ Comilo Sitte (1965) නගර සැලසුම්කරණ ශික්ෂණය හරහා ඓතිහාසික නගරයන් සතු සෞන්දර්යාත්මක අගය නූතන නගරයට සාපේක්ෂව ඇගයීමට ලක් විය. ඔහුගේ 1889 ‘කලාත්මක මූලධර්මවලට අනුව නගර සැලසුම්කරණය’ (City planning according to artistic principles) නම් කෘතියේ දී නූතන නගර සංවර්ධනයේ දී ඓතිහාසිකත්වය අඛණ්ඩව තේරුම් ගත යුතු බව පෙන්වා දෙයි (Bandarin and Van Oers 2012). නගර සැලසුම් ශිල්පියකු වූ Patric Geddes (2010) ඔහුට සම කාලීන ව සෞන්දර්යාත්මක හා දෘශ්‍යමය කෝණයකින් නගරය දුටු අයෙක් වන අතර නගරය භෞතික මෙන් ම සාමාජීය අංග ලක්ෂණයන්ගේ අන්තර් කි‍්‍රයාවක් තුළින් ඓන්ද්‍රීයව පරිණාමය වන්නක් ලෙස විග‍්‍රහ කරයි. විසිවන සියවසේ දෙවන භාගයේ දී ඉතාලියානු ජාතික වාස්තුවිද්‍යාඥයකු මෙන් ම නගර සැලසුම් ශිල්පියකු වන Gustavo Giovannoni නගර සංරක්ෂණය සඳහා තාක්ෂණික ප‍්‍රවේශය නිර්වචනය කළ අතර නාගරික උරුමය (Urban Heritage) යන වචන භාවිතය හඳුන්වා දෙන ලදී. ඔහු ඓතිහාසික නගර සංරක්ෂණයට හා කළමනාකරණයට අදටත් පදනම වන පූර්ණ ක‍්‍රමවේදයක් හා ප‍්‍රවේශයක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද වැදගත් වේ. Gustavo Giovannoni (1931) දැඩි ලෙස ඓතිහාසික නාගරික මධ්‍යස්ථාන කෞතුකාගාර මෙන් අකි‍්‍රය බවට පත් කිරීම කෙරෙහි විරුද්ධ වූ අතර ඓතිහාසික ස්මාරකයන්හි නිර්මිත පරිසර සංරක්ෂණයේ අවශ්‍යතාව, ඒකාබද්ධ සැළසුම්කරණ ක‍්‍රමවේදය වැනි ප‍්‍රවේශයන් අවධාරණය කරන ලදි (Bandarin, and Van Oers 2012). ඔහුගේ ප‍්‍රවේශයන් දෙස සූක්ෂමව නිරීක්ෂණය කරන විට 20 වන සියවසේ දෙ වන භාගයේ ජාත්‍යන්තරව වර්ධනය වූ සංරක්ෂණ ප‍්‍රතිපත්ති සඳහා බලපෑමක් කළ පුරෝගාමී චරිතය ලෙස හඳුන්වා දීම බොහෝදුරට සාධාරණ ය.

දෙ වන ලෝක යුද්ධ අවධියෙන් පසු එළඹෙන දශක කීපය තුළ ලෝකය පුරා සංවිධානාත්මක ලෙස ඓතිහාසික නාගරික උරුමයන් හායනයක් සිදු වන්නට විය. 1950-1960 දශකවල පළමුවෙන් ම යුරෝපානු හා උතුරු ඇමෙරිකානු රටවල් ද ඉන් අනතුරුව 1960-1970 දශක වන විට ලතින් ඇමෙරිකානු රටවල් සහ අරාබිකරයේ රටවල් ද, අවසාන වශයෙන් සහ අරාබිකරයේ රටවල් ද මේ කි‍්‍රයාවලියට මුහුණ දුන් අතර මේ රටවල මේ කි‍්‍රයාවලිය තවමත් අඛණ්ඩව සිදු වෙමින් පවතී (Tung 2001). මෙම කි‍්‍රයාවලිය අබිමුව ඓතිහාසික නාගරික උරුම අගයන් ආරක්ෂා කිරීමේ සංවේදීත්වයෙන් පසු වූ සංරක්ෂණවේදීන්, සැලසුම් ශිල්පීන්, වාස්තු විද්‍යාඥයින් හා තාක්ෂණික ශිල්පීන් ගේ මැදිහත් වීමෙන් නාගරික සංරක්ෂණය අරමුණු කර ගත් ප‍්‍රතිපත්ති සහ නෛතික රාමු සම්පාදනය වීමක් විවිධ රටවල සිදු වන්නට විය (Larkham 1996). උක්ත ප‍්‍රතිපත්තිවල මුඛ්‍ය පරමාර්ථය වූයේ තත් නගරයන්හි ස්මාරක හා භෞතික ව්‍යුහයන් සංරක්ෂණය තුළින් ස්ථානීය අනන්‍යතාවන් හා අගයන් නඩත්තු කිරීම හා නාගරික උරුමයන්හි සමාජීය අදාළත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම ය. මෙම ප‍්‍රාරම්භක අවධිය තුළ උරුම සංරක්ෂණය පිළිබඳ ගැටලු සහ සීමාවන් යම් ප‍්‍රමාණයකට ආමන්ත‍්‍රණය කිරීම යුනෙස්කෝ සංවිධානය මගින් සකස් කරන 1972 ජගත් උරුම ප‍්‍රඥප්තිය (World heritage convention 1972) සහ 1976 නයිරෝබි නිර්දේශයන් (Nairobi recommendations 1976) හරහා සිදු වේ. ප‍්‍රදේශ සංරක්ෂණයේ දී සමාජ, සංස්කෘතික හා ආර්ථික සාධක පුළුල් ලෙස වැදගත් වන බව පෙන්වා දෙන අතර නාගරික භෞතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාව අතර සංවේදීතාව අවධාරණය කරමින් එය ආරක්ෂා කිරීමේ දී හා අඛණ්ඩ කළමනාකරණයේ දී රාජ්‍ය ආයතනවල සහ පුරවැසියන්ගේ වගකීම පැහැදිලි කෙරේ. නාගරීක උරුම සංරක්ෂණය පිළිබඳව වැනිස් ප‍්‍රඥප්තිය තුළ වූ රික්තකය සහ නාගරික උරුමයටම විශේෂ වූ සංරක්ෂණ ගැටලු ආමන්ත‍්‍රණය කිරීම සඳහා අයිකොමොස් සංවිධානය විසින් විශේෂ ප‍්‍රඥප්තියක් ලෙස ඓතිහාසික නගර හා නාගරික ප‍්‍රදේශ සංරක්ෂණය සඳහා වූ ප‍්‍රඥප්තිය (Charter for the conservation of historic towns and urban areas 1987) නැතහොත් ‘වොෂින්ටන්  ප‍්‍රඥප්තිය’ (Washington Charter) හඳුන්වා දෙනු ලැබී ය. පුළුල් ව ඓතිහාසික නාගරික ප‍්‍රදේශ හා ඒවා සංරක්ෂණය පිළිබඳ ව කැප වූ පළමු ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය මෙය වන අතර එහි නාගරික උරුමය පිළිබඳ නිර්වචනය තුළ වැදගත් නව හඳුන්වා දීම් ද ඇතුළත් වේ. ඓතිහාසික නගරය නිර්වචනය කිරීමේ දී එහි හාත්පස පරිසරය සහ එහි සාමාජීය අගයන් (Social values) සහ ප‍්‍රජා සහභාගීත්වය වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංරක්ෂකයින් සහ සැලසුම්කරුවන්ට සිය කි‍්‍රයාවලියේ දී මුහුණ පෑමට සිදු වන ප‍්‍රධාන ගැටලු ද විශේෂ ලෙස සඳහන් කර ඇත. ඒ නිසාම ප‍්‍රජා මැදිහත්වීම ප‍්‍රධාන යාන්ත‍්‍රණයක් ලෙස වැදගත් බැවින් ප‍්‍රඥප්තියේ සටහන් 3 සහ 15 ප‍්‍රජා සහභාගීත්වය, මැදිහත්වීම සහ අධ්‍යාපනය පිළිබඳ අවධාරණය කරන අතර, සටහන් 5 සංරක්ෂණ සැලසුම් සඳහා ප‍්‍රජාව සහයෝගය දැක්විය යුතු බව පවසයි.

නාගරික උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණයේ දී පුරවැසි සහභාගීත්වය තීරණාත්මක සාධකයකි. නාගරික සන්දර්භයේ සිදු කරනු ලබන සැලසුම් සම්පාදන කි‍්‍රයාවලියේ දී තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා සහභාගී කර ගැනීම සාර්ථකත්වය සඳහා වන උපාය මාර්ගයකි. මෑත කාලයේ ජගත් පරිමාණයෙන් විශේෂඥයින්, විද්වතුන් සහ ජාත්‍යන්තර සංවිධාන නාගරික උරුම ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අධ්‍යාපනයේ දී උක්ත කරුණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. Arnstein (1996) සහභාගීත්ව සංකල්පය තුළින් පෙන්වා දෙන්නේ සැලසුම්කරණ කි‍්‍රයාදාමය සඳහා පුරවැසි සහභාගීත්වය සාර්ථක වන තරමට ව්‍යාපෘතීන්හි හා වැඩසටහන්වල සාර්ථකත්වය රඳා පවතින බවයි. උක්ත කරුණ පිළිබඳ බරා ප‍්‍රඥප්තියේ (Burra Charter) අවධාරණය කරනු ලබන්නේ උරුම සංරක්ෂණ වැඩසටහන්වල තිරසාරභාවය (Sustainability) අතිශයින් ම ප‍්‍රජා සහභාගීත්වය හා බැඳී පවතින්නක් බවයි (ICOMOS 1999). විසිවන සියවසේ අවසාන භාගය වන විට උරුම සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ නිරත වූවන්ගේ ස්ථාවරය වී ඇත්තේ නාගරික උරුම සංරක්ෂණ වැඩසටහන් හඳුනා ගැනීම, සංරක්ෂණය, කළමනාකරණය හා අධීක්ෂණයේ දී ප‍්‍රජාව භාවිත කළ යුතු බව වන අතර, පර්යේෂණ තුළින් පෙන්වා දී ඇත්තේ ද උරුම සංරක්ෂණය කර ගැනීම උදෙසා පුරවැසි සහභාගීත්වය වැදගත් වන බවයි.

නූතන ඓතිහාසික ස්ථාන සංරක්ෂණයේ දී ප‍්‍රධාන ගැටලුවක් වී ඇත්තේ සංරක්ෂණ හා සංවර්ධන කි‍්‍රයාකාරකම් සඳහා ප‍්‍රජා සහසම්බන්ධතාව ඌණ වීම සහ ඒවා හුදෙක් වාස්තුවිද්‍යාඥයින්, සැලසුම් ශිල්පීන්, පුරාවිද්‍යාඥයින් ආදී වෘත්තිකයින්ගේ ඇගයීම් මත පදනම් වූ හුදු වෘත්තීමය කි‍්‍රයාකාරකම් වීමයි. මේ නිසා ස්ථානීය ජීවය, ප‍්‍රතිරූපය පිළිබඳ ව නේවාසික ප‍්‍රජාව හා වෘත්තික ප‍්‍රජාව අතර පරස්පර විරෝධී දැකීමක් ජනනය වීම නොවැළැක්විය හැකි ය. මේ තත්ත්වය ස්ථානයක තිරසාරත්වය සම්බන්ධයෙන් තීරණාත්මක ය. Hayden (1995) පෙන්වා දෙන්නේ සංරක්ෂණ කි‍්‍රයාවලියේ දී වෘත්තීමය බල අධිකාරය මත උක්ත දෙපාර්ශ්වයේ නොගැළපීම් කි‍්‍රයාවට නැගීම ප‍්‍රජා අසහනකාරී තත්ත්වයක් දක්වා ගමන් කිරීමට හේතුවන බව ය. අවසානයේ මේ තත්ත්වය සංරක්ෂණ වැඩසටහන්හි අපේක්ෂිත පරමාර්ථ මුදුන් පමුණුවා ගත නොහැකි ව උඩු යටිකුරු වීමට හේතු වේ. Strauss (1961), Hayden (1995) හා  Silva (2001) පෙන්වා දෙන්නේ නගරය පිළිබඳව එහි පුරවැසියන් සිතන ආකාරය තේරුම් නො ගෙන ඒ තුළ සිදු වන සංවර්ධන මගින් නාගරීකරණ සහ නාගරික සාමාජීය හැසිරීම් කි‍්‍රයාවලින් තේරුම් ගත නො හැකි බවයි. මේ තුළින් අවධාරණය කෙරෙන්නේ සංරක්ෂණ කි‍්‍රයාවලියේ ප‍්‍රජා මතවාදයන් හා සහභාගීත්වයේ වැදගත්කමයි.

උරුම සංරක්ෂණයේ දී අතිශයින් වැදගත් ලක්ෂණයක් ලෙස ජාත්‍යන්තර තලයේ මෑත කාලීනව හඳුනා ගන්නා ලද සංකල්පයක් නම් ‘ස්ථානීය ජීවය’ (Spirit of place) පිළිබඳ සංකල්පයයි. එය කිසියම් ස්ථානයක විශේෂ ගති ලක්ෂණ මත පදනම් ව දැනෙන ගුණාත්මක අත්දැකීමක් වන අතර ස්ථානීය ස්පර්ශනීය ගති ලක්ෂණ (ගොඩනැඟිලි, භූ දර්ශන, වස්තු, මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් ආදිය මෙන්) සංකේතාත්මක ගති ලක්ෂණ මත පදනම් වූවක් වේ. එබැවින් කිසියම් ස්ථානයක මෙම ගති ලක්ෂණය හුදෙක් අතීතයට සම්බන්ධ වූවක් නො වන අතර වර්තමාන ස්ථානීය හැසිරීම් රටාවේ ප‍්‍රතිඵලයකි. එබැවින් කිසියම් ස්ථානයක ස්ථානීය ජීවය සංරක්ෂණය කිරීම යනු ස්ථානීය අතීත හා වර්තමාන ස්පර්ශනීය මෙන් ම අස්පර්ශනීය ගතිලක්ෂණ රැක ගැනීමට කටයුතු කිරීමයි. ඓතිහාසික නගරයක සංරක්ෂණය යනු ද එම නගරයේ පරිසර සන්දර්භයේ ජීවය කළමනාකරණය කිරීමේ කි‍්‍රයාවලියයි. එහෙයින් සංරක්ෂණ හා සංවර්ධන ප‍්‍රතිපත්තීන්හි ප‍්‍රධාන පරමාර්ථයන් විය යුත්තේ ස්ථානීය ජීවය හා සම්බන්ධ කේන්ද්‍රීය මානයන් අභිවර්ධනය කරන අතරතුර අන්තරායකර මානයන් මුලිනුපුටා දැමීමයි.

නගර සංරක්ෂණ හා කළමනාකරණ කි‍්‍රයාවලියේ දී තත් ක්ෂේත‍්‍රය පිළිබඳ ව ප‍්‍රජාවගේ දැනුම, දැක්ම, ඇගයීම, ප‍්‍රමුඛතාවන් හඳුනා ගැනීම මගිින් අතීතය පිළිබඳව දැක්මත්, අනාගතය පිළිබඳ ව අපේක්ෂාවනුත් නොසලකා හැරිය නොහැකි ය. එබැවින් නගර සංරක්ෂණය හා සංවර්ධන කි‍්‍රයාවලියේ දී සාර්ථකත්වය සම්බන්ධයෙන් ද ප‍්‍රජාමතය තීරණාත්මක වේ. Lynch (1972) පෙන්වා දෙන්නේ ද ඓතිහාසික නාගරික ප‍්‍රදේශයක් සංවර්ධනයේ දී වර්තමානයේ ඒ තුළ ජීවත් වන ප‍්‍රජාවගේ දැක්ම වැදගත් වන බවයි. එයට ඔවුන්ගේ අතීතය සහ අනාගතය පිළිබඳ ව දැක්ම සහ ආකල්පයන් වර්තමාන දැක්ම තුළින් තීරණය වන බැවිනි. ප‍්‍රජාවගේ වත්මන් ආකල්පය සංරක්ෂණ වැඩසටහනක තීරණාත්මක සාධකයක් වන්නේ එහි දී ප‍්‍රජාව සිය සංස්කෘතික භූ දර්ශනයේ ඉතිහාසය පිළිබඳ ව දක්වන ඇගයීම සහ වෙනස්වීම් සමගින් එය නඩත්තු කිරීමට දක්වන ආකල්පය මත ය. ඕනෑම සංරක්ෂණ ප‍්‍රතිපත්තියක අරමුණ වන්නේ ද ප‍්‍රජා උරුමය ඇගයීමත් ඒ තුළින් ප‍්‍රජා යහසාධනයත් ය. කිසියම් ඓතිහාසික ස්ථානයක ප‍්‍රතිරූපයට හානි පැමිණෙන්නේ නම් ඉන් ඇඟවෙන්නේ පළමුව ප‍්‍රජාව එහි අගයන් පිළිබඳ ව නොතැකීම හා දෙ වනුව එහි ඉතිහාසය තුළ අනුස්මරණාත්මක ගති ලක්ෂණ නො වීම වීමට පුළුවන. ප‍්‍රජාව එහි අගයන් පිළිබඳ ව නො සලකා කටයුතු කරන්නේ නම් එම අගයන් ආරක්ෂා කිරීම, මනා භාවිතය මෙන් ම දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ උරුමය සමග අර්ථවත් සබඳතාවක් වර්ධනය කිරීමට හැකියාව තිබේ. එසේ ම සංරක්ෂණ සංවර්ධන සැලසුම් තුළින් උරුමය ඇගයීම පිළිබඳ ප‍්‍රජා ආකල්පයන් වර්ධනය කළ හැකි ය. මෙහි දී ප‍්‍රජාව සැලසුම්කරණ, කි‍්‍රයාත්මක කිරීම් සහ නඩත්තු කි‍්‍රයාවලීන් සඳහා බද්ධ කර ගැනීමට හැකි වේ.

මහනුවර උරුම නගර සංරක්ෂණය

වර්තමාන ‘මහනුවර’ අගනුවර සේ යොදා ගනිමින් පැවති සිංහලයේ අවසන් රාජධානිය කන්ද උඩරට හෙවත් මහනුවර රාජධානියයි. සිරිවර්ධනපුර, සෙංකඩගලපුර ලෙසින් ද හඳුන්වන ලද මහනුවර පුරවරය දිවයිනේ අවසන් රජ පරපුරේ දේශපාලන බලකොටුව විය (සෙනෙවිරත්න, 2001). පළමු වැනි විමලධර්මසූරිය රජු විසින් කි‍්‍රස්තු වර්ෂ 1592 දී ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද මෙම රාජධානිය 1815 දී එහි අන්තිම රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ යටතට පත් වීමත් සමග අවසන් විය. ඉංගී‍්‍රසීන්ට පළමුව පෘතුගීසීන් හා ලන්දේසීන් විසින්ද මෙම නගරය විනාශ කර දැමූ බව පෙනේ (සෙනෙවිරත්න 34, 35 පි). එදා මෙදාතුර මෙය ප‍්‍රධාන නගරයක් වූ නිසාම මහනුවර ලෙස හැඳින්වේ. බි‍්‍රතාන්‍ය පාලන සමය තුළ මහනුවර නගරය ප‍්‍රධාන නගරයක් ලෙස වර්ධනය වූ අතර, එම කාලය තුළ දී යටත් විජිත වාස්තුවිද්‍යා ලක්ෂණ සහිත ගොඩනැඟිලිවලින් සමන්විත නගරයක් බවට පත් විය. බි‍්‍රතාන්‍යයන් විසින් නගරයේ සිදු කරන ලද පරිවර්තනයේ තරම සහ ස්වරූපය ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන්ම තේරුම් ගැනීම සඳහා ඩේවිගේ ප‍්‍රකාශය උපුටා දැක්වීම ප‍්‍රමාණවත් ය.

“අප මහනුවරට ඇතුළු වූ දා සිට අප පරමාර්ථය වූයේ නගරය දියුණු කිරීම වුව ද අප කළ දෙයින් ලත් ප‍්‍රතිඵලය ඉඳුරා වෙනස්ය. අප බොහෝ ගොඩනැඟිලි කඩා බිඳ දැමූ නමුත් ඉදි කළේ ස්වල්පයකි…. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් අපට අයිතිව පැවති සුළු කාලය තුළ දී නගරයේ ශෝභාව බෙහෙවින් පිරිහුණි. දැන් නගරය මුල් නගරයේ නෂ්ටාවශේෂයක් මෙන් ස්වදේශීන්ට පෙනෙනු නියතය. අවුරුදු කීපයක දී පැරණි නගරයේ කිසිම සළකුණකුදු ඉතිරි නොවී මෙහි ඉංගී‍්‍රසි නගරයක් බිහි විය හැකි යයි අනුමාන කළ හැක” (ඩේව් දුටු ලංකාව 2002).

නිදහසින් පසු නගරය තුළ කොන්කී‍්‍රට් භාවිතයෙන් ගොඩනැඟිලි ඉදිවන්නට වූ අතර මේ තත්ත්වය තුළ පෞරාණික වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ ක‍්‍රමානුකූලව වියැකී යන්නට වූයෙන් මෙම බලපෑම් මහනුවර උරුම නගරය තුළ පාලනය කිරීමේ අරමුණින් දළදා මාළිගාව අවට ප‍්‍රදේශය 1946 නගර හා ග‍්‍රාම නිර්මාණ පනත යටතේ 1971 දී පූජනීය ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව එම පූජනීය කලාපය තුළ භූමි පරිහරණය නියාමනය කරමින් පාලනය කරන ලද අතර ආගමික, ඓතිහාසික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක ස්වරූපයේ ව්‍යුහයන් හා ස්ථාන සංරක්ෂණය සඳහා පමණක් අවසර දෙන ලදි. පූජනීය ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද මුත් කොටුදැල් නගරය තුළ වලව් ආදී පැරණි ගොඩනැඟිලි වෙනස් කිරීම්, විනාශවීම් සහ නව ඉදිකිරීම් වැළැක්වීමට නොහැකි විය. මෙම උක්ත පැරණි ගොඩනැඟිලි වෙනුවට නව ගොඩනැඟිලි ස්ථානගත වෙමින් සිදුවන වෙනස්කම් හේතුවෙන් මහනුවර පැරණි නගරයේ පෞරාණිකත්ව ලක්ෂණයට නොගැළපෙන තත්ත්වයක් නිර්මාණය වන්නට විය.

1977 න් පසුව රටේ ඇති වූ විවෘත ආර්ථික පසුබිම තුළ වාණිජමය අවශ්‍යතාවන් උදෙසා නගරයේ බොහොමයක් ගොඩනැඟිලි කොන්කී‍්‍රට්, ඇළුමිනියම් හා වීදුරු භාවිතයෙන් නිමා වන්නට වීමත් සමග නගරයේ පෞරාණික ස්වභාවය ශීඝ‍්‍රයෙන් විකෘති වන්නට වූ බව පෙනේ. 1980 වසරේ දියත් වූ යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ සංකල්පයේ දක්‍ෂිණ අන්තය නියෝජනය කළේ මහනුවර ඓතිහාසික නගරයයි. මෙකී පසුබිම තුළ 1980 වනවිට යුනෙස්කෝ ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මහනුවර මාළිගා සංකීර්ණය, දේවාල සංකීර්ණය, මල්වත්ත සහ අස්ගිරි විහාර සංකීර්ණ ප‍්‍රතිසංස්කරණ හා සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීම සිදු විය. මේ වනවිට කොටුදැල් නගරය තුළ සිදුවෙමින් පැවති පෞරාණික උරුම හායනය මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලධාරීන් අවබෝධ කරගෙන සිටි අතර, 1983 වසරේදී මෙම තත්ත්වය පිළිබඳව විධිමත් තක්සේරුවක් සිදු කරන ලදි. මේ සඳහා රජය අග‍්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළ අතර ඔහුගේ වගකීම වූයේ මුහුණ දී ඇති තර්ජනාත්මක තත්ත්වයන් අධ්‍යයනය කර සංවර්ධන පීඩනය පාලනය කිරීම සඳහා සුදුසු මැදිහත්වීම් නිර්දේශ කිරීම ය. කමිටුව විසින් නිර්දේශ කළ පරිදි 1984 මහනුවර මහනගර සභා ප‍්‍රදේශය 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර එහි පිහිටි දළදා මාළිගාව අවට ප‍්‍රදේශය පූජා ප‍්‍රදේශයක් (Sacred area) ලෙස නම් කෙරිණ (ගැසට් පත‍්‍රය අංක 301-1984 ජුනි 08). උක්ත ගැසට් කරන ලද පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය මගින් පූජා භූමි ප‍්‍රදේශයේ මායිම් නිර්ණය කරන ලද අතර, එම භූමි ප‍්‍රදේශය තුළ දළදා මාළිගාව හා සම්බන්ධ කටයුතු පවත්වා ගෙන යාමේ කාර්යයට අනුකූල නොවන භාවිතාවන්, සංවර්ධනයන් සීමා කිරීම, වාහන ගාල් කිරීමේ ඉඩකඩ සැපයීම, ප‍්‍රදේශය තුළ වාස්තු විද්‍යාත්මක භූමි දර්ශනාත්මක හා පාරිසරික තත්ව ප‍්‍රවර්ධනය කිරීම, උක්ත ප‍්‍රදේශය තුළ හා ඒ අවට දැන්වීම් පුවරු පිහිටුවීම හා ප‍්‍රචාරක දැන්වීම් පුවරු පාලනය කිරීම ආදී අරමුණු සහිතව දියත් විය. වගකිවයුතු බලධාරින් විසින් උරුම නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ලද උක්ත කි‍්‍රයාමාර්ග හේතුවෙන් 1988 වසරේදී ජගත් උරුම නගරයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙසේ ප‍්‍රකාශයට පත් කරන ලද උරුම නගරයේ පැහැදිලි සීමාවන් දක්වා නොතිබුණත් ඒ වනවිට ප‍්‍රකාශයට පත්කර තිබූ පූජා නගර ප‍්‍රදේශය (Sacred city area) ජගත් උරුම නගරයේ සීමා ලෙස සැලකිණ. ඒ අනුව පූජා භූමි ප‍්‍රදේශය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පිළියෙල කරන ලද අංක ඩී/32/07/02 දරන සිතියමෙහි මායිම් ලකුණු කර ඇති පරිදි උතුරට හෝර්ටන් ආර්යා මාවත, නැගෙනහිරට හෝර්ටන් ආර්යා මාවත හා වැව පාරින් ද, දකුණට සංඝරාජ මාවත හා දළදා විදියෙනුත්, බස්නාහිරට ඩී.එස්. සේනානායක වීදිය, බෙනට් සොයිසා වීදිය, දේව වීදිය සහ දිසාපති නිළ නිවාස භූමියෙනුත් සීමා වේ. මසේ ජගත් උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව මහනුවර නගරයේ තථ්‍යතාව (Authenticity) ආරක්ෂා කිරීමේ කටයුතුවල නිරත වූ බලධාරීන්ට පසක් වූ කරුණක් වන්නේ නාගරික ක්ෂේත‍්‍රයේ ගුණාංග ආරක්‍ෂා කිරීමට නම් පූජනීය නගර සීමාවෙන් ඔබ්බෙහි වූ ප‍්‍රදේශය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි. මෙම දැක්මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 1988 වසරේ සමස්ත කොටුදැල් නගරය කෙරෙහි අවධානය යොමු කරමින් විදේශීය වාස්තු විද්‍යාඥයකු වූ Christoph Hanske (1988) ගේ ප‍්‍රධානත්වයෙන් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් වාස්තු විද්‍යාත්මක ව්‍යුහයන් පිළිබඳ තක්සේරුවක් සිදු කිරීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස කාල රාමුව අනුව ගොඩනැඟිලි අවදි පදනම් කරගත් වර්ගීකරණයක් (periodical classification) සිදු විය. මෙම වර්ගීකරණය පහත පරිදි ය.

සංරක්ෂණය කළ යුතු ගොඩනැඟිලි (90)
සංරක්ෂණයට නිර්දේශිත ගොඩනැඟිලි (165)
වෙනස් කිරීම් සිදු කළ හැකි ගොඩනැඟිලි (293)
දියුණු කිරීම හෝ විනාශ කිරීම සිදු කළ හැකි ගොඩනැඟිලි (259)
1850ට පෙර සහ එම කාලයට අයත් ගොඩනැඟිලි 44
1850 – 1900 අතර කාලයට අයත් ගොඩනැඟිලි 166
1900 – 1950 අතර කාලයට අයත් ගොඩනැඟිලි 320
1950 – 1988 අතර කාලයට අයත් ගොඩනැඟිලි 277
එකතුව 807

 

මෙහි අරමුණ වූයේ සංරක්‍ෂණය කළ යුතු ගොඩනැඟිලි තවදුරටත් විනාශ වීමෙන් වළක්වා ගැනීමටත්, දියුණු කිරීම් සහ අලූත්වැඩියා කිරීම්වල දී සංරක්‍ෂණ ක‍්‍රියාමාර්ග ගැනීමත්, නව ඉදිකිරීම් සඳහා නීතිරීති කි‍්‍රයාත්මක කිරීම වුවත් මෙම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම හා මුදුන් පමුණුවා ගැනීම අතිශයින් දුෂ්කර වූ කාර්යයක් වූ බව පෙනේ. පූජනීය ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කිරීම පහසු වුවත් කොටුදැල් නගරය තුළ හා ඒ අවටත් සංවර්ධන කටයුතු පාලනය කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත. විශේෂයෙන් 80 දශකයේ අගභාගයේ හා 90 දශකයේ මුල් භාගයේ වාණිජමය හා පරිපාලනමය අවශ්‍යතා සඳහා නීති විරෝධි ඉදි කිරීම් බහුලව සිදු වූ අතර, අනුමත ඉදිකිරීම් ද ජගත් උරුම අගයන් (Heritage values) හා නොගැළපෙන ස්වරූපයේ ඒවා විය.

උක්ත පසුබිම තුළ මහනුවර මහනගර සභාවේ මැදිහත් වීමෙන් 1992 වසරේ දී පුරපතිට උපදෙස් දීමට සහ අනාගත සංවර්ධනයන් මෙහෙයවීම සහ පාලනය කිරීම සඳහා, මහනුවර ලෝක උරුම නගර උපදේශක කමිටුව (World Heritage City Kandy Advisory Committee) ස්ථාපිත කළ අතර එම කමිටුවේ ප‍්‍රධාන කාර්යයක් වූයේ මහනුවර නගරය සඳහා පෞරාණිකත්වය මෙන්ම නූතනය සංකලනය වූ ප‍්‍රධාන සැලැස්මක් මගින් සමතුලිත සංවර්ධනයක් සඳහා වූ ප‍්‍රධාන සැලැස්මක් (Master plan) සකස් කිරීම ය. නගර සැලසුම් ශිල්පීන්, වාස්තුවිද්‍යාඥයින්, පුරාවිද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින්, ආර්ථික විද්‍යාඥයින්, භූ ගර්භ විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් ආදීන්ගෙන් සැදුම්ලත් උක්ත කමිටුව විසින් සම්පාදිත 1999 සංරක්ෂණ හා සංවර්ධන සැලැස්ම සම්පාදිත ය.

1979 මාර්තු මස 7වන දා අංක 26/8 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඇමතිවරයා විසින් 1978 අංක 41 දරන නාගරික සංවර්ධන පනතේ 3 (1) සහ (2) වගන්ති යටතේ නාගරික සංවර්ධන බල ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මහනුවර නගරයේ භෞතික සංවර්ධනය සඳහා අවසන් වරට සම්පාදිත නෛතික පදනමක් සහිත සැලැස්ම වන්නේ 2002.4.27වැනි දින සිට 2016 අවසානය දක්වා බලපැවැත්වෙන මහනුවර නාගරික සංවර්ධන බල ප‍්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්මයි.

පසුගිය දශක කීපය තුළ මහනුවර පූජනීය නගර සන්දර්භය තුළ නූතනත්වය හා සාම්ප‍්‍රධායිකත්වය යන උභතෝකෝටිකය අතර විඝටනාත්මකව වර්ධනය වෙමින් පවත්නා වූ ප‍්‍රවණතා හා ගැටලු රැසක් හඳුනාගත හැකි ය. ඒවා නාගරික සන්දර්භයේ මානව, සාමාජීය, ආර්ථික, භෞතික හා ආයතනමය මානයන් හා ඍජුවම සම්බන්ධය. සාම්ප‍්‍රදායික ජන සංයුතිය වෙනස්වීමත්, ඒ හරහා සාම්ප‍්‍රදායික නගරය උරුම කරගත් කි‍්‍රයාකාරකම් සහ සාම්ප‍්‍රදායික ජීවන රටාව බිඳ වැටීමත් දශක කීපයක් තුළ නගරයේ නිර්මිත පරිසර කි‍්‍රයාකාරීත්වය සැලකිය යුතු ලෙස බිඳ වැටීමට හේතු විය. විශේෂයෙන් 70 දශකයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික පරිවර්තනයන් ද මෙම හායනය තීව‍්‍ර කිරීමට බලපා ඇත.

1980 න් පසුව එළඹි කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය හා මහනුවර මහ නගර සභාව විසින් ගන්නා ලද සාධනීය නගර සංරක්ෂණ හා සංවර්ධන සැලසුම් ප‍්‍රවේශ හා නෛතික ප‍්‍රවේශ හරහා උක්ත හායනකාරී තත්වයන් යම් ප‍්‍රමාණයකට අවම කිරීමට හැකි වී ඇතත් ඒ පිළිබඳව සෑහීමට පත් විය නොහැකි ය. නෛතික ප‍්‍රතිපාදනවල කි‍්‍රයාකාරීත්වයේ දුර්වලතා, ප‍්‍රජා දැනුවත් භාවයේ ඌණතා මෙන් ම උරුම නගරයේ පරිපාලන ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා ද හේතුකොටගෙන නව ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය, පරිමාණයෙන් හා හැඩයෙන් නොගැලපෙන ගොඩනැඟිලි හඳුන්වා දීම, විවෘත අවකාශ අඩු වීම ආදිය නගරය තුළ සිදු වන නව සංවර්ධන පීඩනයේ ලක්ෂණ ලෙස හඳුනා ගත හැකි ය.

මහනුවර නගරය උරුම කරගත් ස්මාරක ගොඩනැඟිලි විවිධ තත්වයන් යටතේ පසු වේ. සමහර ස්මාරක (විශේෂයෙන් ආගමික ස්මාරක සහ විශේෂ ගොඩනැඟිලි) අනවරත නඩත්තු කි‍්‍රයාවලියකට ලක් වන අතර තවත් සමහරක් ජරාජීරණ ස්වරූපයෙන් පසු වේ. ඒ අතර අතරමැදි තත්ත්වයේ පසුවන ගොඩනැඟිලි ද පවතී. නගරයේ ගොඩනැඟිලි පිළිබඳ ව්‍යුහාත්මක හා වාස්තුවිද්‍යාත්මක ඇගයීමක් 1988 කි‍්‍රෂ්ටෝප් හන්ස්කි ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කර වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇත. එම හඳුනාගැනීමට අනුව,

සංරක්ෂණ කළයුතු ස්මාරක  90 (12‍%)
ලැයිස්තුගත සංරක්ෂණ නිර්දේශිත ගොඩනැඟිලි  165 (20‍%)
වෙනස් කළ හැකි ගොඩනැඟිලි  293 (36‍%)
දියුණු කළ යුතු විනාශ කළ හැකි  259 (32‍%)
එකතුව  807 (100‍%)

 

එහෙත් උක්ත වර්ගීකරණයට අනුව විධිමත් වර්ගීකරණයක් හෝ ඇගයීමක් සිදු වී නො මැති අතර එදා මෙදාතුර නගරයේ නිර්මිත පරිසරයට සිදුව ඇති වෙනස්කම් අසීමිත බැවින් වර්තමාන තත්ත්වය තේරුම් ගැනීමට නව ඇගයීමක් අවශ්‍යව ඇත.

සමාලෝචනය

මහනුවර නගරයේ වර්තමාන වාස්තුවිද්‍යාත්මක පරිහාණියේ ස්වරූපය අධ්‍යයනය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවස්තු අඥාපනතේ නෛතික ප‍්‍රතිපාදනයන්ට අනුගතව ආරක්‍ෂිත ස්මාරක ලෙස ගැසට් කරන ලද (2004/8/22 අංක 1356) ගොඩනැඟිලි සංකීර්ණ අපගේ විශේෂ අවදානයට ලක් විය (වගුව 1). පසුගිය දශක කීපය තුළ උරුම නගරයේ ඓතිහාසික ගති ලක්ෂණ සඳහා අහිතකර ලෙස බලපෑම් කළ බොහෝ කරුණු නිරීක්ෂණය කළ හැකි විය.

  • දුර්වල නඩත්තුව
  • නොගැලපෙන අලුත්වැඩියා කිරීම්
  • ස්මාරක හා ගොඩනැඟිලි අතහැර දැමීම
  • නොගැලපෙන ස්වරූපයේ හා පරිමාණයේ නව ඉදිකිරීම්
  • නීතිවිරෝධී අවිධිමත් ඉදිකිරීම්
  • යෝග්‍ය නොවන ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය
  • කඩා ඉවත් කිරීම් හා උපක‍්‍රමශීලි මුලිනුපුටා දැමීම් ආදිය අතර හඳුනා ගත හැකි ය (රාජපක්ෂ 2017, 381-382.පි.).

ගොඩනැඟිලි හිමිකරුවන් හට පවත්නා වූ මූල්‍යමය හිඟය හේතුවෙන් බොහෝ ස්මාරක නඩත්තුවෙන් තොරව දුර්වල තත්වයක පවතී. එහි අවසන් ප‍්‍රතිඵලය ගොඩනැඟිලි භාවිතයකින් තොරව අතහැර දැමීමයි. රාජ්‍ය ආයතනමය පහසුකම්, ඇගයීම් හා මැදිහත්වීම් නොමැති වීම මෙන් ම, පවත්නා නෛතික රෙගුලාසිවල බලපෑම හේතුවෙන් මෙම අවසාන විනාශ වීමට ඉඩ හැර බලා සිටීමට සිදුව ඇති බව පෙන්වා දිය හැකි ය. වර්ෂා කාලවල දුබල වහලය තුළින් අභ්‍යන්තරයට ජලය ගමන් කිරීමට සලස්වා වහලය සහ ව්‍යුහය කඩා වැටීමට සලස්වන ලද අවස්ථා රැසක් නිරීක්ෂණය කළ හැකි විය.

නව විධිමත් නඩත්තු හා සංරක්ෂණ මැදිහත්වීමක් කිරීමට අවශ්‍යතාවක් නොමැති විට අඩු වියදමකින් ද්‍රව්‍ය හා ශ‍්‍රම භාවිතාවක් මගිින් ස්මාරකයට නොගැළපෙන අලුත්වැඩියා කිරීම් සිදු කිරීමට ගොඩනැඟිලි හිමිකරුවන් පෙළඹෙයි. මෙබඳු තත්ව කාලයක් තිස්සේ සිදු වීම මගින් තත් වාස්තුවිද්‍යාත්මක නිර්මාණ බොහෝමයක් වර්තමානය වන විට විකෘතීන් බවට පත් වී ඇත. බොහෝ ස්මාරක සඳහා වීදුරු, ක්ලැඩින්, කොන්කී‍්‍රට් ආදී නොගැළපෙන ද්‍රව්‍යයන්ගෙන් නිම වූ දොරජනෙල් භාවිතය සුලබ දර්ශනයක් වේ. ගොඩනැඟිලිවල සැබෑ හිමිකරුවන් සමහර විට නගරයෙන් බැහැර වෙනත් ස්ථානවල පදිංචියට යාම නිසා හෝ අයිතිය පිළිබඳ ගැටලු සහගත තත්වයන් මත හෝ සංරක්ෂණ හෝ නඩත්තු කිරීම් අවශ්‍යතා නොමැති බැවින් අතහැර දමන ලද වටිනා ගොඩනැඟිලි නගරය තුළ දැක ගත හැකියි. නගරය තුළ භූමියේ වටිනාකම පැවතිය ද ඒ සඳහා ආයෝජනය කිරීම පිණිස බොහෝ අය පසුබට වන බවක් පෙන්නුම් කරයි.

නූතන නාගරික ජීවිතයේ විවිධ අවශ්‍යතා මත පැරණි ගොඩනැඟිලි ස්මාරක සඳහා නව එකතු කිරීම් බහුලව සිදු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් අභ්‍යන්තර සහ බාහිර මූලික වාස්තුවිද්‍යාත්මක ගති ලක්ෂණ සඳහා බලපෑමක් ඇති කෙරේ. විශේෂයෙන් ජලවිදුලි සැපයුම්, අමතර කොන්කී‍්‍රට් මහල් එකතු කිරීම්, කාමර වෙන් කිරීම්, ඉදිරිපස වීදුරු සහ කැලැඩික් ඇලුමිනියම් මුහුණත් සවිකිරීම්, යකඩ දොරටු සවිකිරීම්, ගෙබිම් ටයිල් කිරීම්, නාම පුවරු එල්ලීම් වැනි කි‍්‍රයාකාරකම් මෙහි ලා හඳුනා ගතහැකි අතර ඒවා පෞරාණික නගර ලක්ෂණවලට සානුකම්පික එකතු කිරීම් නොවේ. ඒ මගින් ජගත් උරුම නගරයේ තථ්‍යතාව සහ ඒකාබද්ධතාවට මෙන් ම අද්විතීය විශ්වීය අගය සඳහා ද අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇත. පැරණි නගරයේ වීදි දෙපස පිහිටි බොහෝමයක් තනි හෝ දෙමහල් සිංහල උළු සෙවිලි කළ නේවාසික ගොඩනැඟිලි විය. එහෙත් වර්තමානය වන විට වාණිජ අවශ්‍යතා සඳහා සිදු කළ වෙනස්කම් නුවර වාස්තුවිද්‍යාවේ රිද්මය ගිලිහී යාමට හේතු වී ඇත.

ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සැලකීමේ දී මෑත කාලීනව පෞරාණික ගොඩනැගිලි සඳහා නොගැලපෙන භාවිත රැසක් හඳුනාගත හැකි ය. ගොඩනැගිලි මුහුණත් (Facade) වාණිජ අවශ්‍යතා සඳහා වෙනස් කිරීමේ දී වීදුරු, ඇලුමිනියම්, ක්ලැඩින්, ටයිල්, ඇස්බැස්ටස් යොදා ගැනීම බහුලව දක්නා ලැබේ. මෙහි දී ප‍්‍රධාන ගැටලුවක් වී ඇත්තේ පෞරාණික සාම්ප‍්‍රදායික ද්‍රව්‍ය හා ක‍්‍රමවේද භාවිතය සඳහා දක්වන අකමැත්ත ය. එක් අතකින් එය මූල්‍යමය ගැටලුවක් ලෙස මෙන් ම, ඒවායේ අගය පිළිබඳ නොදැනුවත් භාවය පිළිබඳ ගැටලුවක් ද වේ. බොහෝ ගොඩනැඟිලිවල වහල, වියන, ජනෙල්, දොරවල්, පියගැට, ගෙබිම, මතු මහල දැවයෙන් සිදු කර ඇති බැවින් ඒවා කාලයාගේ ඇවෑමෙන් නඩත්තු නො කිරීම නිසා දිරාපත් වී ඇත. ඒ සඳහා නවීන ද්‍රව්‍ය භාවිත වෙමින් පවතී. එබැවින් සංරක්ෂණ ආයතන විසින් සාම්ප‍්‍රදායික ද්‍රව්‍ය ඒ සඳහා යොදා ගැනීම, අධික පිරිවැය ආවරණය සඳහා ආධාර ලබා දීම, ඒවායේ අගය පිළිබඳව දැනුවත් භාවය වර්ධනය කිරීම, සාම්ප‍්‍රදායික සැලසුම් ක‍්‍රමවේද භාවිතය ඇගයීමට ලක් කිරීම සහ ප‍්‍රවර්ධනය වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. දළදා මාළිගාව, සතර මහා දේවාල, මල්වතු අස්ගිරි උභය මහා විහාර ආදිය සාම්ප‍්‍රදායික ද්‍රව්‍ය තාක්ෂණය සහ සැලසුම් ක‍්‍රමවේද අනුව සංරක්ෂිත ගොඩනැඟිලි උදෙසා කදිම නිදසුන් වේ.

වගුව 1 – මහනුවර නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද ස්මාරක හා පැරණි ගොඩනැඟිලි

මෑතක දී ලෝක උරුම කමිටුව විසින් සංරක්ෂණය කරන ලද ගිරාගම වලව්ව නොගැලපෙන ද්‍රව්‍ය ඉවත් කිරීම හා සාම්ප‍්‍රදායික සැලසුම් ද්‍රව්‍ය සහ තාක්ෂණය භාවිතය මගින් සිදු කරන ලද කදිම ගොඩනැඟිලි සංරක්ෂණය කිරීමක් ලෙස වෘත්තිකයින් විසින් පෙන්වා දෙනු ලැබේ. එහෙත් නගරයේ පුරවැසියන් සමග සාකච්ඡා කිරීමෙන් පැහැදිලි වූයේ ඔවුන් එබඳු සංරක්ෂණ ප‍්‍රවේශයක් පිළිබඳව දක්වන උදාසීන බවයි. එයට ප‍්‍රධාන හේතුව අධික පිරිවැයක් දැරීමට සිදු වීම ය.

පෞරාණික ගොඩනැඟිලි සහ ඒවායේ කොටස් සූක්ෂ්ම ලෙස කඩා ඉවත් කිරීම හා ඒ වෙනුවට වාස්තු විද්‍යාත්මකව නොගැළපෙන නව ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් බොහෝ වීදිවල ආවේණික ගති ලක්ෂණ ගිලිහී යමින් පවතී. ඇතැම් නගර වැසියන් පැරණි ගොඩනැඟිලි ක‍්‍රමානුකූලව විනාශ වී යාමට සලස්වා ඒවා අනාරක්ෂිත ගොඩනැඟිලි බවට පත් කොට, අනතුරුව නීත්‍යනුකූලව ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ හා නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය සහිතව නව කිරීම් සඳහා කි‍්‍රයාකරන අවස්ථා ද හඳුනාගත හැකි ය. මහනුවර නාගරික සංවර්ධන ප‍්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මේ II වන වෙළුමේ 70 වන වගන්තියට අනුව යම් ගොඩනැඟිල්ලක් අනාරක්ෂිත බවට ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් සහතික කරනු ලැබ තිබේ නම්, පදිංචිකරුවන් හෝ මහජනයාට අනතුරුදායක එවැනි ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කරන ලෙස හෝ කඩා දමන ලෙස හෝ එහි අනතුර ඉවත්වන අන්දමේ වෙනත් අත්දැකීමකින් කි‍්‍රයා කරන ලෙස අධිකාරිය විසින් ඒ ගොඩනැඟිල්ලේ අයිතිකරුට නියම කළ හැකි ය (සංවර්ධන සැලැස්ම 2002, 33 පි.). නාගරික සංවර්ධන බල ප‍්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මේ II වෙළුමේ IV වන උපලේඛනයේ ‘ඌ’ ආකෘතියේ දැක්වෙන ගොඩනැඟිල්ලක හෝ ව්‍යුහයේ හිමිකරුවාට හෝ නිවැසියාට එම ගොඩනැඟිල්ල හෝ ව්‍යුහය කඩා බිඳ දැමීම, ප‍්‍රතිසංවර්ධනය කිරීම, වෙනස් කිරීම හෝ වැඩිදියුණු කිරීම තහනම් ය. මෙම නීතිමය තත්ත්වය කෙතරම් උල්ලංඝනයට ලක් වී ඇත් ද යන්න ඉතා පැහැදිලි ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා නාගරික සංවර්ධන අධිකාරියට වාර්තා වී ඇති බොහෝමයක් ගොඩනැඟිලි නීති උල්ලංඝනය කිරීම්, කොටස් එකතු කිරීම්, අලුත්වැඩියා කිරීම්, කඩා බිඳ දැමීම් හා ප‍්‍රති සංවර්ධනය කිරීම් සමග සම්බන්ධ වේ. එහෙත් මෙලෙස වාර්තා වූ තත්ත්වයන්ට අමතරව තවත් බොහෝ උල්ලංඝනය කිරීම් සිදු වී ඇති අතර එයට හේතු වී ඇත්තේ ගොඩනැඟිලි ප‍්‍රමිතීන් හා සැලසුම් රෙගුලාසි උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කිරීමට හා පාලනය කිරීමට විධිමත් පසුවිපරම් යාන්ත‍්‍රණයක් නොමැති වීමයි. ඒ සඳහා ආයතන අතර සහ ප‍්‍රජාව අතර සම්බන්ධීකරණය දුර්වල වීම, ප‍්‍රමාණවත් කාර්යමණ්ඩල ධාරිතාවක් නො මැති වීම වැනි කරුණු හේතු වී ඇත.

උක්ත ගැටලු සඳහා විසඳුම් සෙවීමේ දී අප විසින් සංරක්‍ෂණය කළ යුක්තේ කුමක් ද? සංරක්‍ෂණය කළ යුක්තේ ඇයි? කවුරුන් සඳහාසංරක්‍ෂණය කරන්නේ ද? ආදී ස්ථානීය බද්ධ ගැටලු ආමන්ත‍්‍රණය කළයුතු වේ. මෙහි දී නාගරික උරුම සංරක්‍ෂණ ප‍්‍රවේශයක් ලෙස යෝග්‍ය පුනර්භාවිත සංකල්පය (Adaptive reuse) නාගරික සන්දර්භයේ සාමාජීය, ආර්ථික හා භෞතික මානයන් ආමන්ත‍්‍රණය කරන සාධනීය පිළිතුරක් කරගැනීමේ හැකියාව පවතී. නාගරික වාස්තුවිද්‍යාත්මක අංග සංරක්ෂණයේ දී යෝග්‍ය පුනර් භාවිතාව සංකල්පය සංරක්ෂණමය මැදිහත්වීමක් ලෙස ඓතිහාසික ගොඩනැඟිලි අතහැර දැමීමෙන්, ගරා වැටීමෙන් වළක්වා ඒවායේ ජීවන කාලය දීර්ඝ කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස පිළිගෙන ඇත. ඒ තුළින් ගොඩනැඟිලිවල යල් පැන ගිය උපයෝගීතාවන් පරිවර්තනයකට ලක් කර නාගරික සන්දර්භයේ නූතන අවශ්‍යතාවන්ට සරිලන ලෙස නව භාවිතාවන් හඳුන්වා දීම සිදු වේ. නාගරික සන්දර්භයක් තුළ යෝග්‍ය පුනර් භාවිතාව භෞතික, ආර්ථිකමය මෙන් ම පාරිසරික දෘෂ්ටිකෝණයන්ගෙන් සලකන විට සංරක්ෂණයේ දී ඉතා යහපත් ප‍්‍රවේශයකි. එම ප‍්‍රවේශය හරහා නිසැක වශයෙන් ම තත් ගොඩනැඟිලිවල හිමිකරුවන්ගේ සහ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයට යහපත් බලපෑමක් උදා කරන අතර සංචාරකයින්ට මෙන් ම ඒවා භාවිත කරන්නන් හට ද සුභවාදී බලපෑම් ඇති කරයි.

මහනුවර ජගත් උරුම නගරයේ පෞරාණික ගොඩනැඟිලි සම්බන්ධයෙන් යෝග්‍ය පුනර්භාවිතාවේ ස්වරූපය අධ්‍යයනයේ දී පැහැදිලි වන කරුණක් නම් සංවේදී ආගමික ගොඩනැඟිලි සම්බන්ධයෙන් වැදගත් වෙනස් ප‍්‍රතිසංස්කරණමය ප‍්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවයි. උදාහරණ ලෙස දළදා මාළිගාව සහ සතර දේවාල, අස්ගිරි හා මල්වතු විහාර, කි‍්‍රස්තියානි, මුස්ලිම් දේවස්ථාන හා ඒවායේ පෞරාණික උපයෝගීතාවන් තුළ ම ප‍්‍රතිසංස්කරණය කර ඇත. ජගත් උරුම නගරයක් ලෙස ඒවායේ උපයෝගීතාමය තථ්‍යතාව පවත්වා ගැනීම වැදගත් වන බැවිනි. යෝග්‍ය පුනර්භාවිතාව සංකල්පය කි‍්‍රයාවට නැගීමේ දී යෝග්‍ය නව භාවිතාවක් තෝරා ගැනීම තීරණාත්මක කරුණකි. Highfield (1987)ට අනුව යෝග්‍ය භාවිතාවන් ලෙස පෙන්වා දෙන සිල්ලර වෙළෙඳාම, කාර්යාල, කර්මාන්ත, ගබඩා, හෝටල, නිවාඩු නිකේතන, නේවාසික ස්ථාන, ආගමික හෝ සාමාජීය කි‍්‍රයාකාරකම් සඳහා පහසුකම්, සුභසාධන පහසුකම්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, කෞතුකාගාර, කලාගාර මෙන් ම නේවාසික, වාණිජ සහ මිශ‍්‍ර නේවාසික, වාණිජ කර්මාන්ත භාවිතාවන් සහ Tiesdell et al 1996, p. 69) අවධාරණය කරන සංචාරක කර්මාන්ත, නේවාසික සහ වාණිජ කර්මාන්ත උපයෝගීතාවන් සම්බන්ධයෙන් මහනුවර සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.

දළදා මාළිගාව අවට පූජා භූමි ප‍්‍රදේශය තුළ ස්මාරක පුනරුත්ථාපනය අරමුණු කරගෙන එම ප‍්‍රදේශයේ පූජනීයත්වයට අදාළ නොවන භාවිතාවන් (අධිකරණ කටයුතු, කාර්යාල, රක්ෂිත බන්ධනාගාර, තොග වෙළෙඳ කටයුතු) ඉවත් කිරීම, සංවර්ධනයන් පාලනය කිරීම සහ ගොඩනැඟිලි ප‍්‍රමිතීන් පැනවීම ආදී කි‍්‍රයා මාර්ග තුළින් කටයුතු කරමින් සිටින අතර උක්ත කි‍්‍රයාකාරකම් නිසා ප‍්‍රජාවගේ පාර්ශ්වයෙන් විවිධ අභියෝගයන් ද එල්ල වෙමින් පවතී. උදාහරණයක් ලෙස දේව වීදියේ පිහිටි නීතීඥ ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංචාරක අවශ්‍යතාවන් සඳහා ප‍්‍රතිසංස්කරණයට ගන්නා ලද තීරණයේ දී එහි හිමිකරුවන් තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා ප‍්‍රමාණවත් ලෙස බද්ධ කොට නො ගැනීම තත් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද වීමට හේතු වී ඇත. මින් පැහැදිලි වන්නේ නව භාවිතාවන් හඳුන්වාදීමේ දී සංචාරකයින්ගේ මෙන් ම ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් පිළිබඳවද මනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. ප‍්‍රජා අවශයතාවන් හා නොගැලපෙන භාවිතාවන්ට ප‍්‍රජා සහභාගීත්වය ලබාගැනීම අභියෝගාත්මක ය. උරුම ක්ෂේත‍්‍ර සැලසුම්කරණයේ හා සංරක්ෂණයේ නිරත වෘත්තිකයින් හා ප‍්‍රජාව ඉලක්ක ගත කර සිදු කළ ප‍්‍රශ්නාවලි ගවේශනයෙන් හා සම්මුඛ සාකච්ඡාවන්ගෙන පැහැදිලි වන කරුණු කිහිපයකි (රාජපක්ෂ 2017, 281-308.පි.). සමස්තයක් වශයෙන් සියලු දෙනා ම මහනුවර නාගරික උරුමයේ අගය පිළිබඳ සංවේදී වුවත්, ගොඩනැඟිලි සංරක්ෂණය හා සංරක්ෂණ ක‍්‍රමවේද පිළිබඳ මතවාද විවිධ වේ. විශේෂයෙන් පුරාවිද්‍යාඥයින්, වාස්තුවිද්‍යාඥයින් හා සංරක්ෂණ වෘත්තිකයින් මහනුවර නගරයේ A,B,C,D වශයෙන් වර්ගකර ඇති සමස්ත ගොඩනැඟිලි පද්ධතිය නාගරික උරුම ගති ලක්ෂණයේ විශේෂ අංගයක් වන බැවින් සංරක්ෂණය කිරීමේ උපයෝගිතාව හා වැදගත්කම පිළිබඳ සංවේදී වන අතර සැලසුම් ශිල්පීන් නගරයේ C හා D පන්තියේ ගොඩනැඟිලි නූතන වාණිජ කටයුතුවලට මෙන් ම සංවර්ධනයට බාධාවක් සේ සලකා ඉවත් කළ යුතු බව අවධාරණය කරයි. එයට හේතු ලෙස ඔවුන් විසින් පෙන්වා දෙනු ලබන්නේ ඒවා ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් අකාර්යක්ෂම මෙන් ම එහි හිමිකරුවන්ට ඒවා නඩත්තුව සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ය. එසේ ම එම ගොඩනැඟිලි බොහොමයක් නාගරික ප‍්‍රජාවගේ ගුණාත්මක ජීවන පැවැත්මට ද ගැටලු මතු කර ඇත.

නගරයේ වාණිජමය උපයෝගිතාව අනුව සැලකීමේ දී නගර සැලසුම් ශිල්පීන් හා දේපළ සංවර්ධකයින් මෙන් ම ප‍්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් ය. ගොඩනැඟිලි භාවිතය සඳහා කල්බදු ක‍්‍රමයට ගැනුම්කරුවන්, ආකර්ෂණය හා ගැනුම්කරුවන් රඳවා තබා ගැනීමට ගැටලු මතු වී ඇත. එබැවින් වෙළෙඳපළ අගය හා අලෙවි කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බැලීමේ දී බොහෝ අය විකල්පයක් ලෙස තෝරා ගන්නේ සංරක්ෂණය නොව කඩා ඉවත් කොට ප‍්‍රතිසංවර්ධනය කිරීමේ ප‍්‍රවේශයයි. එහෙත් ඊට ප‍්‍රතිවිරුද්ධව විකල්පයක් ලෙස වාස්තුවිද්‍යාඥයින් හා සංරක්ෂණ ශිල්පීන් ප‍්‍රකාශ කරන්නේ යෝග්‍ය පුනර්භාවිත සංකල්පය තුළින් සංරක්ෂණය සඳහා උක්ත අගයයන් ලබා ගත හැකි බවකි. ගොඩනැඟිලි හිමිකරුවන් හා භාවිත කරන්නන් මතු කරන ප‍්‍රධාන කරුණක් නම් දැරීමට සිදුවන වැය හා ප‍්‍රතිලාභ අතර පරතරයයි. බොහෝ ගොඩනැඟිලි ව්‍යුහාත්මක දුබලතාවලින් යුත්ක බැවින් ඒවා ශක්තිමත් කිරීම වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය අධික ය. එහි දී සාපේක්ෂව පුනර්භාවිතාව ආර්ථිකමය වශයෙන් ප‍්‍රතිඵල රහිත ක‍්‍රියාවක් සේ තක්සේරු කෙරේ.

නාගරික උරුම සැලසුම්කරණය හා සංරක්ෂණයේ නිරත වෘත්තිකයින් හට අනාගතයේ තීරණ ගැනීමේ දී නාගරික තිරසාරභාවය පිළිබඳ සලකා බැලීමට සිදු වේ. එහි දී විධිමත් ඇගයීමක දී ආර්ථික, පාරිසරික හා සමාජීය ප‍්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වේ. එහි දී හුදෙක් ආර්ථික විභවතාව මත පමණක් බර තබා තීරණ ගැනීම හරහා නිරායාසයෙන් කඩා ඉවත් කිරීමේ හා ප‍්‍රතිසංවර්ධනය කිරීමේ විකල්පය දෙසට දෝලනය වීම නොවැළැක්විය හැකි ය. එපරිද්දෙන් ම හුදෙක් හිමිකාර සාම්ප‍්‍රදායික ප‍්‍රජාව, සාම්ප‍්‍රදායික වාස්තුවිද්‍යාව (යටත්විජිත, මහනුවර) පවත්වා ගැනීම වැනි උරුම මාන හා ප‍්‍රජා මාන මත බර තබා තීරණ ගැනීමෙන් ද නගරය වාණිජමය වශයෙන් අගයක් රහිත, පුරාණ ගොඩනැඟිලි සහිත අවකාශයක් බවට පත්වීම ද නොවැළැක්විය හැකි ය. එබැවින් මේ තුළ තුලනයක් අවශ්‍ය වේ. මහනුවර සංවර්ධන හා සංරක්ෂණ සැලසුම මගින් උපායමාර්ගිකව උක්ත තුලනය ඇති කිරීමට මේ දක්වා සමත්ව නැති බව අපගේ නිරීක්ෂණයයි.

යෝග්‍ය පුනර් භාවිත සංකල්පය කි‍්‍රයාවට නැගීම සංකීර්ණ කි‍්‍රයාදාමයක් වන බැවින් එහි දී පවත්නා වූ නෛතික රෙගුලාසි ද සමහර විට බාධාවන් බවට පත් වෙමින් ව්‍යාපෘති ප‍්‍රමාදයට හේතු වේ. උදාහරණයක් ලෙස පූජා භූමි ප‍්‍රදේශය සහ ඊට අනුබද්ධ නගර මධ්‍ය භාවිතාවන් හඳුන්වා දීම තුළින් නගරයේ පැරණි මිශ‍්‍ර භාවිතාව මුලිනුපුටා දැමීමක් සිදු වන අතර ඒ හරහා සංරක්ෂිත ප‍්‍රදේශය භෞතිකව සුන්දර වුවත් නගරයේ සැබෑ මූල ප‍්‍රාණයට ඉන් බලපෑමක් සිදු වීම නොවැළැක්විය හැකි ය. උදාහරණ ලෙස පූජා භූමියට සමීප කලාපය සංරක්ෂණය කළ යුතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර එම කලාපය තුළ වාණිජ කටයුතු සීමා කිරීමත් (බැතිමතුන් සඳහා නවාතැන්, පළතුරු, රස කැවිලි, පූජා භාණ්ඩ වෙළෙඳ සැල්, ආපන ශාලා, කුඩා බැංකු සහ සන්නිවේදන මධ්‍යස්ථාන) සිදු කෙරේ. එමෙන් ම ගොඩනැඟිලි නවීකරණ හා අලුත්වැඩියා කිරීම් මෙන්ම නව සංවර්ධන කාර්යයන් සඳහා 2001 නොවැ 08 අංක 1209/09 දරන ගැසට් පත‍්‍රය මගින් සීමා පනවා ඇත.

නගරය තුළ ගොඩනැඟිලි එහි මුල් අයිතිකරුවන්ගෙන් ගිලිහී මෑත කාලීනව වෙනත් මධ්‍යම පාන්තික වාණිජ අරමුණු සහිත කණ්ඩායමක් අතට පත් වීම ද යෝග්‍ය පුනර්භාවිතා සංකල්පය කි‍්‍රයාත්මක කිරීමෙහි ලා අභියෝගාත්මක ලෙස බලපා ඇත. නව නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආකල්පයන් හා අවශ්‍යතාවන් මුල් අයිතිකරුවන්ට හා පදිංචිකරුවන්ට සාපේක්ෂව වෙනස් වන අතර එය නගරයේ සංස්කෘතික තිරසාරභාවයට අභියෝගයක් වී ඇත. මේ අතරින් සුළු පිරිසක් සිය ගොඩනැඟිලිවල භෞතික තත්ත්වය වැඩිදියුණු කිරීමේ දී සංවේදී ව කටයුතු කළත්, බහුතරයක් වාණිජ ප‍්‍රජාව වාණිජ අවශ්‍යතා උදෙසා නෛතික සීමා උල්ලංඝනය කරමින් විනාශකාරී ලෙස වැඩිදියුණු කිරීම්වල නිරත ව සිටී. මේ තත්ත්වය සඳහා නෛතික බලය සහිත ආයතනයන්ගේ නිද්‍රාශීලී බව ද හේතු වී ඇත. අවසානයේ එය නගරයේ තථ්‍යතාව හා ඒකාබද්ධතාවට දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කර ඇත.

මහනුවර පූජනීය නගර ප‍්‍රජාවගේ ආකල්ප හා මතවාද විමසුමේ දී ඔවුන්ගේ ඓතිහාසික නගරයන්හි ප‍්‍රතිරූපයට අදාළ ගතිලක්ෂණ වන පූජනීයත්වය, අධ්‍යාත්මක අගය, සංකේතාත්මක අරුත් මෙන් ම ඒ හා බද්ධ වූ ආගමික කි‍්‍රයාකාරකම්, අභිචාර, ජනශ‍්‍රැති ආදිය පිළිබඳව ද මහත් වූ ශ‍්‍රද්ධාවකින් හා ඇගයීමකින් අදහස් ප‍්‍රකාශ කරන ලදි. මේ තුළින් උරුම නගරයන්හි කේන්ද්‍රීය අගයන් (Core meanings) පිළිබඳ ව සංරක්ෂණයේ වෘත්තීමය ප‍්‍රජාවට කදිම අවබෝධයක් ලබා ගත හැකි අතර ඒ හරහා සැලසුම් ප‍්‍රවේශ තුළින් සංරක්ෂණ කි‍්‍රයාදාමය තුළ ප‍්‍රවර්ධනය කළ යුතු අගයන් පිළිබඳ ව අවබෝධයක් ලැබේ. එබැවින් උරුම කළමනාකරුවන්ගේ වගකීමක් වන්නේ උක්ත උරුම නගර ප‍්‍රතිරූපයට අදාළ කේන්ද්‍රීය අගයන් සංරක්ෂණයට උපාය මාර්ගික කටයුතු කිරීමයි. එසේ ම ප‍්‍රජාව තවදුරටත් උරුමය පිළිබඳ ප‍්‍රවර්ධන කි‍්‍රයාකාරකම්, මාධ්‍ය වැඩසටහන්, පුවත්පත් තොරතුරු, ස්මරණය ආදිය හරහා දැනුවත් කිරීම ඔස්සේ ප‍්‍රජා සහභාගීත්වය හා සංවේදීතාව වර්ධනය කළ හැකි වේ. ඒ තුළින් උරුම නගරයන්හි කේන්ද්‍රීය අගයන් ප‍්‍රජාවගේ සංවේදීත්වය තුළින්ම ආරක්ෂා වන අතර ඒ හරහා සංචාරක කර්මාන්තය තුළින් ද ආකර්ෂණීය ඉල්ලුමක් ජනිත වේ. මෙය නගරයේ ආර්ථික සංවර්ධනයට බලපාන අතර ප‍්‍රජා යහසාධනයට නිරායාසයෙන් ම හේතු වේ.

කිසියම් උරුම ක්ෂේත‍්‍රයක උරුමය සංරක්ෂණයේ දී තත් සංස්කෘතික භූ දර්ශනය සහ ප‍්‍රජා අනන්‍යතාවන් පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් ක්ෂේත‍්‍රය සංස්කෘතික වෙනස්වීම් සම්බන්ධයෙන් ගතික නාගරික ක්ෂේත‍්‍රයක් වන විට සංවර්ධන කි‍්‍රයාකාරකම් සඳහා පීඩනය අනිවාර්ය අංගයක් වන අතර ඒ හරහා සංස්කෘතික අනන්‍යතා සඳහා තර්ජනයක් එල්ලවීම නො වැළැක්විය හැකි ය. මේ නිසා ම උරුම සංරක්ෂණ කි‍්‍රයාකාරකම් සංස්කෘතික වෙනස්වීම් සඳහා ප‍්‍රතිචාරාත්මක යාන්ත‍්‍රණයක් විය යුතු අතර ඒ හරහා සංස්කෘතික අනන්‍යතා පවත්වා ගනිමින් අපේක්ෂිත සංවර්ධනයන් සඳහා පහසුකම් සැපයිය හැකි වනු ඇත. ඒමගින් භෞතික පරිසරයේ වෙනස්වීම් පාලනයක් සිදු වේ. මෙම ප‍්‍රවේශය වේගවත් සංස්කෘතික හා පාරිසරික වෙනස්වීම් සහිත ක්ෂේත‍්‍රයකට වැදගත් වේ.

ඓතිහාසික උරුම සංරක්ෂණ කි‍්‍රයාදාමය පීඩනයන් ජනනය කරන කි‍්‍රයාවලියක් ද වේ. විශේෂයෙන් සංවර්ධන පාලන යාන්ත‍්‍රණය හරහා සංවර්ධනය ඓතිහාසික සැකැස්ම හා භූ දර්ශනය වෙනස් වීම සඳහා බලපෑම් කරනු ලබන කරුණක් ලෙස සැලකීම හරහා පහසුකම් සංවර්ධනයන් මෙන් ම පවත්නා ගොඩනැඟිලි භෞතික ලෙස වෙනස්වීම් පාලනය කෙරේ. මේ කි‍්‍රයාදාමය තුළින් නිදහස සීමා වීම මහනුවර නගරයේ වෙළෙඳ ප‍්‍රජාවට මෙන් ම සංවර්ධනය අපේක්ෂා කරන්නවුන්ට අසහනයක් ඇති කරයි. සංරක්ෂිත නිර්මිත පරිසරය නගරයේ වෙනස්වන අවශ්‍යතා සඳහා නොගැළපෙන විට අසහනය තවදුරටත් පැවතීම සිදු වේ. ජීවමාන ඓතිහාසික නගරයක් වන මහනුවර නගරයේ සංරක්ෂණ ප‍්‍රතිඵලවල අනම්‍ය බව හා සංරක්ෂණ ආයතනයන්හි අකාර්යක්ෂම තත්ත්වයන් පිළිබඳව ප‍්‍රජා ආකල්පයන් අතිශයින් විවේචනාත්මක ය. සියලු සංරක්ෂණ තීරණ සැලසුම් ශිල්පීන් හා වාස්තුවිද්‍යා ශිල්පීන් හා පුරාවිද්‍යාඥයින් විසින් ගනු ලැබීම තුළ නගරයේ ජීවත් වන ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් අමතක කර ඇති බවට ප‍්‍රජා විවේචනයක් පවතී. එසේම සංරක්ෂණ වැඩසටහන් හරහා සමහර ප‍්‍රජා කණ්ඩායම්වලට සිය දේපළ අත හැරීමට සිදු වී ඇති අතර ඒ සඳහා ප‍්‍රමාණවත් ලෙස වන්දි ගෙවීමක් සිදු වී නොමැත. මේ තත්ත්වයන් තුළ පීඩාවට හා අසහනයට පත් කණ්ඩායම්වලින් එල්ල වන විරෝධය සංරක්ෂණ වැඩසටහන් හා සැලසුම් සඳහා තවදුරටත් බාධා පමුණුවයි.

සංරක්ෂණ කි‍්‍රයාදාමයේ දී ප‍්‍රජා අපේක්‍ෂාවන් හා පොරොන්දු වූ පරිදි කටයුතු සිදු නො වීම පිළිබඳ ව ද ප‍්‍රජාව තුළ ඇත්තේ අසහනයකි. ප‍්‍රධාන වශයෙන් උරුම නගරයේ සංරක්ෂණ කි‍්‍රයාදාමය පරමාර්ථ කීපයක් සාක්ෂාත් කර ගත යුතු වේ. පළමුව සංස්කෘතියේ වැදගත් සංස්කෘතික ගති ලක්ෂණවල අවිච්ජින්නතාව පවත්වාගෙන යාම, දෙවනුව භෞතික හා සමාජ ආර්ථික පරිසරයේ යෝග්‍ය වර්ධනය හා වෙනස්කම්වලට පහසුකම් සැලැස්වීම සහ සංරක්ෂණ කි‍්‍රයාදාමය ඌණ ජීවන සංවර්ධන කි‍්‍රයාදාමයක් බවට පත් කිරීම, සංස්කෘතියේ අවිච්ජින්නතාව හා වෙනස්වීම කළමනාකරණයේ දී වෙනස් කළ යුත්තේ කුමක් ද අඛණ්ඩව පවත්වාගෙන යා යුත්තේ කුමක් ද යන්න තේරුම් ගැනීම හා ඒ ද්වයේ මනා තුලනය ද වැදගත් වේ. මේ කි‍්‍රයාදාමය අර්ථවත් ලෙස සිදු කිරීමේ දී සමස්ත ප‍්‍රජාවගේ අපේක්ෂාවන් ද සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

නගරයේ උරුම සංරක්ෂණ කි‍්‍රයාදාමය හා බැඳුණු අභියෝග හා ගැටලු නිරීක්ෂණය කර බලන විට එම කි‍්‍රයාදාමය සාර්ථක කර ගැනීමෙහි ලා උපාය මාර්ග කීපයක් අනුගමනය කිරීම යෝග්‍ය බව පෙනේ. ඒ අතර ආකල්පමය වෙනස්වීම, උපරිම ප‍්‍රජා සහභාගීත්වය, සංස්කෘතියේ හා නිර්මිත පරිසරයේ කේන්ද්‍රීය හා පරිධිය ලක්ෂණ හඳුනා ගැනීම, ක‍්‍රමික සංවර්ධනය හා සංරක්ෂණ සහ ප‍්‍රධාන අන්තර් ආයතන සබඳතාව වැඩිදියුණු කිරීම හා මූල්‍යමය සහාය වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම උචිත ය.

සංරක්ෂණ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා වඩා වැදගත් වන්නේ පුරවැසි ප‍්‍රජාවගේ ආකල්පමය වෙනස් වීමයි. ලෝක උරුමයක් බවට පත්වීම හරහා ප‍්‍රජාව නගරයේ අනාගතය පිළිබඳ ව දැඩි අපේක්ෂා සහගත බවකින් පසුවීම හා පසු කාලීන සංරක්ෂණ හා සංවර්ධන කි‍්‍රයාකාරකම් හරහා අපේක්ෂිත පරමාර්ථ ඉටු නො වීම තුළ ලෝක උරුමය සංර්ධනයට බාධාවක් වැනි මතවාදයන් ප‍්‍රජාව තුළ දක්නට ලැබේ. මේ තත්වයට බලපා ඇත්තේ සංරක්ෂණ වැඩසටහන් තුළ පවතින ප‍්‍රජාවට ලබා දී ඇති පොරොන්දු ඒ අයුරින් සංරක්ෂණ කි‍්‍රයාදාමය තුළ කාර්යක්ෂමව හා ප‍්‍රතිඵලදායී ලෙස කි‍්‍රයාත්මක නො වීමයි. මෙහි දී ප‍්‍රජාව සංරක්ෂණ කි‍්‍රයාදාමය දෙස වඩා යථාර්ථවාදීව බැලීමට, එනම් එහි අවශ්‍යතා, පරමාර්ථ, සීමාවන් හා ප‍්‍රතිඵල පාර්ශ්වකරුවන් වන බලධාරීන්ට මෙන් ම ප‍්‍රජාවට පැහැදිලි වීම වැදගත් වේ. එසේ නො වීම තුළ සංරක්ෂණ වැඩසටහන් පිළිබඳ ව විඝටනාත්මක විවිධ මතවාදයන් ජනිත වීම සමස්ත කි‍්‍රයාදාමයට ම හානිකර වේ. ප‍්‍රජාව තුළ පෞරාණික නිර්මිත පරිසර අංග කිසිදු වෙනසක් නො කොට ආරක්ෂා කිරීම පිළිබඳ අදහසත්, සංරක්ෂණය ඓතිහාසික නගරයේ සංවර්ධනයට බාධාවක් සේ දකින ඍණාත්මක ආකල්පයත් යන කාරණා දෙකම සංරක්ෂණ කි‍්‍රයාදාමය සඳහා හානිකර ය. එසේ ම උරුම සංරක්ෂණ බලධාරීන් තුළ පවත්නා ආකල්පයක් වන්නේ උරුම සංරක්ෂණ ගැටලු තේරුම් ගැනීමට තරම් ප‍්‍රමාණවත් දැනුමක් ප‍්‍රජාවට නොමැති බවයි. එසේ නොමැති නම් එය ලබා දීම බලධාරීන්ගේ වගකීමක් වන අතර ඔවුන් නොසලකා හැරීමේ හෝ ආන්තිකකරණයට ලක් කිරීමේ ආකල්පය වෙනස් විය යුතු වේ. එසේම දණඩනයට වඩා දිරි දීමේ ප‍්‍රවේශය මෙහි දී වඩාත් ප‍්‍රයෝගික ය. මේ තුළින් සැලසුම්කරුවන් වන බලධාරීන් හා ප‍්‍රජාව අතර පවත්නා දුරස්බව පහ වී යන අතර දෙපාර්ශ්වයට සංරක්ෂණ කි‍්‍රයාකාරකම් පිළිබඳව වඩා යථාර්ථවාදී වීමට අවකාශයක් උදා කොට අනේ්‍යාන්‍ය අවබෝධය තුළින් වඩාත් යහපත් ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකියාව සැලසේ. සංරක්ෂණ කි‍්‍රයාදාමය නිසා බලපෑමට ලක් වන සියලු පාර්ශ්වකරුවන් ආරම්භයේ සිට සම්බන්ධ කර ගැනීම සඳහා විධිමත් දැනුවත් කිරීම් වැඩසටහන් හා අදහස්, ප‍්‍රතිචාර ලබා ගැනීමේ යාන්ත‍්‍රණයක් පැවතිය යුතු වේ. දැනට මහනුවර නගර සභාව මගින් කි‍්‍රයාත්මක ලෝක උරුම කමිටුව මෙහි දී යම් ප‍්‍රමාණයකට ගැටලු හා මත ගැටුම් අවම කර ගැනීමේ යාන්ත‍්‍රණයක් ලෙස කි‍්‍රයාත්මක වේ.

නගරය තුළ කි‍්‍රයාත්මක සැලසුම් කි‍්‍රයාත්මක වීම් පිළිබඳ ප‍්‍රජා දැනුවත් භාවය ඌණ වී ඇත්තේ ඒ පිළිබඳ ව යාවත්කාලීන තොරතුරු සන්නිවේදනය නො වීමයි. සහභාගීත්වය ලබා ගැනීමේ දී හුදු රැස්වීම්වලට සීමා වන අතර පුද්ගලික සම්මුඛ සාකච්ඡා, දුරකථන සමීක්ෂණ, පුහුණු සැසි, විවෘත සවන්දීම් වැනි ක‍්‍රමවල ඌණතාවක් පවතී. සංරක්ෂණ ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කරනු වස් මාධ්‍ය වැඩසටහන්, පුවත්, සඟරා, සංස්කෘතික අවස්ථා, උරුම සංචාරක තොරතුරු මධ්‍යස්ථාන අදිය සකි‍්‍රය වීම ආදිය වැදගත් වේ. දැනට ‘සෙන්කන්ඩ’, ‘මහනුවර’ වැනි පුවත්පත් උරුම නගරයේ ගැටලු පිළිබඳ මහජන නියෝජිතයන්, වෘත්තිකයින්, ප‍්‍රජා මූල සංවිධාන නායකත්වයන් හා වාණිජ ප‍්‍රජාව අතර ප‍්‍රජා කථිකාවක් සඳහා වේදිකාවක් මෙන්ම අවකාශයක් නිර්මාණය කිරීමට සමත් ව ඇතත්, මහනුවර කි‍්‍රයාත්මක තොරතුරු මධ්‍යස්ථානය (ලක්සල ගොඩනැඟිල්ල තුළ කි‍්‍රයාත්මක) ශාස්ත‍්‍රීය මට්ටමේ විවිධ දේශන හා සාකච්ඡා සිදු කළ ද පුරවැසි සහභාගීත්වය දිරි ගැන්වීමෙහි ලා හෝ ප‍්‍රවර්ධනයෙහි ලා ප‍්‍රමාණවත් මෙහෙවරක් ඉටු නො කරයි.

උරුම සම්පත් සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා ප‍්‍රාදේශීය ප‍්‍රජා මැදිහත්වීම ඌණ වීම කෙරෙහි බලපාන ප‍්‍රධාන කරුණක් ලෙස පෙනී යන්නේ ශී‍්‍ර ලංකාවේ පරිපාලන යාන්ත‍්‍රණය හා බැඳුණු ආයතනමය ව්‍යුහයේ ගැටලුකාරීත්වයයි. උදාහරණ ලෙස උරුම සංරක්ෂණ හා කළමනාකරණ, සංචාරක සංවර්ධන හා සැලසුම් සම්පාදනයේ දී රාජ්‍ය බලධාරීන් විසින් තීරණ ගැනීමේ ආකල්පය සාමාන්‍ය ප‍්‍රවේශයක් බවට පත් වී ඇත. මහනුවර ජගත් පූජනීය නගරයෙහි උරුම සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම්කරණය හා සංචාරක සංවර්ධන කි‍්‍රයාදාමයන්හි දී පරිපාලන යාන්ත‍්‍රණය විසින් ප‍්‍රජා සහභාගීත්වය විවිධාකාරයෙන්, එනම් විටෙක හුදු සංකේතාත්මක දැනුම් දීම්, උපදෙස් ලබා ගැනීම්වල සිට අවශ්‍ය පරිදි අත්තනෝමතින ලෙස හැසිරවීම දක්වා යොදා ගෙන ඇත. Tosun (2000) සඳහන් කරන්නේ මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවත්නා රටවල සාමාන්‍ය තත්ත්වයක් බවයි. ප‍්‍රජාව සහ බැඳුණු ගැටලුවල දී වඩාත් ම යෝග්‍ය තීරණය ගැනීම ප‍්‍රජාවට නොපවරා ඔවුන් වෙනුවෙන් අවසන් තීරණ ගැනීම සිදු වේ. ප‍්‍රජාවට පවත්නා බල සීමාවන් තුළ උරුම සැලසුම්කරණය හා සම්බන්ධ ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග පිළිබඳ තීරණ ගැනීමේ දී එය හුදු දැනුම් දීමකට පමණක් සීමා වේ.

රූප සටහන 2 මහනුවර උරුම නගරයේ කළමනාකරණ යාන්ත‍්‍රණය (රාජපක්ෂ 2017, 122 පි.)

උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාර සංවර්ධනය හා බද්ධ වන රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ අභ්‍යන්තරික කි‍්‍රයාවලීන් සඳහා වෘත්තීමය සුදුසුකමක් නො මැති ප‍්‍රාදේශීය ප‍්‍රජාව බද්ධ කර ගැනීම ප‍්‍රතිඵල විරහිත මෙන් ම කාලය අපතේ යැවීමක් ලෙස සැලකේ. රජයේ වර්තමාන උරුම සංරක්ෂණ සැලසුම් ප‍්‍රවේශයන් හා කි‍්‍රයාත්මක කිරීම් විමසා බැලීමේ දී ප‍්‍රාදේශීය ප‍්‍රජාව හා සම්බන්ධතාව අතිශයින් සීමාසහිත ය. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ප‍්‍රාදේශීය රාජ්‍ය ආයතනයන්හි අනම්‍ය නිලධාරීවාදී කි‍්‍රයාවලීන් යග උදාහරණ ලෙස රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් උරුම සම්පත් කළමනාකරණය සඳහා යාන්ත‍්‍රණයක් ලෙස භාවිත කරන්නේ නෛතික අණපනත් හා ප‍්‍රතිපත්තීන් ය. එසේ ම ශී‍්‍ර ලංකාවේ නූතන අණපනත්වල ද ප‍්‍රජා මැදිහත්වීම සම්බන්ධයෙන් පවත්නේ අතිශයින් සීමා සහිත අවකාශයකි.

ගැටුම්කාරී තත්ත්වයන් ද ප‍්‍රාදේශීය ප‍්‍රජා මැදිහත්වීම අධෛර්යමත් වීමට බලපා ඇත. විශේෂයෙන් ජගත් උරුම නගරයන්හි සම්පත්වල අයිතිය සම්බන්ධයෙන් පවත්නේ සංකීර්ණ තත්ත්වයකි. මෙම සංකීර්ණ ආයතනමය යාන්ත‍්‍රණය එක් අරමුණක් වෙනුවෙන් ජාලගත වූ ලෝක උරුම කමිටුව පැවතිය ද ඒ හරහා ප‍්‍රජා මැදිහත්වීම් දිරි ගැන්වීම වෙනුවෙන් සිදු වන කාර්යභාරය සීමාසහිත බවක් උසුලයි (රූප සටහන 1). තත් කමිටු තුළ ප‍්‍රාදේශීය ප‍්‍රජා නියෝජනය ද සංකේතාත්මක මුහුණුවරක් ගෙන තිබේ. මේ සඳහා හේතු වන්නට ඇත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්ති උපායමාර්ග සම්බන්ධ තාක්ෂණික තීරණ ගැනීමේ කි‍්‍රයාවලියට ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ සහභාගීත්වය යෝග්‍ය හෝ වැදගත් නොවේ ය යන රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්පය වන බැවිනි.

උරුම කළමනාකරණයේ දී ප‍්‍රදේශීය ප‍්‍රජා සහභාගීත්වය කෙරෙහි ස්ථානීය ඇල්ම පිළිබඳ ආකල්පයේ බලපෑම ද වැදගත් නිර්ණායකයකි. Gu සහ Ryan (2008) පෙන්වා දෙන්නේ ස්ථානීය ඇල්ම (Place attachment) පිළිබඳ කාරණය ප‍්‍රජා ආකල්පයන් සහ දැක්ම සඳහා බලපෑම් කළ හැකි සාධකයක් මෙන් ම ක්ෂේත‍්‍රයේ භූ දර්ශන වෙනස් කිරීම් හා සංවර්ධන කටයුතු සඳහා දක්වන චර්යාත්මක ප‍්‍රතිචාරයන් මැනීමේ නිර්ණායකයක් ලෙස ද භාවිත කළ හැකි බවයි. පූජනීය උරුම නගරයෙහි පර්යේෂණ ප‍්‍රතිඵලයන්ට අනුව මෙම ස්ථානීය ඇල්ම පිළිබඳ සාධකය විවිධ ජනවාර්ගික කණ්ඩායම්ල වයස් කණ්ඩායම්ල අධ්‍යාපන පසුබිම්, නේවාසික භෞමික අවකාශයන්, පදිංචි කාල සීමා ආදී කරුණු මත විවිධාකාර වේ. මෙකී විවිධත්වයන්ට සාපේක්ෂව ප‍්‍රජා සහභාගීත්වයේ ද විවිධත්වයක් පෙන්නුම් කෙරේ. උදාහරණ ලෙස මහනුවර පූජනීය නගරයේ සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳ සංවේදී සිංහල බෞද්ධ පිරිස් මෙන් ම නගරයේ බහු සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳ සංවේදී සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් පිරිස් නාගරික උරුම ස්මාරක සංරක්ෂණයට දැඩි නැඹුරුවක් දක්වන අතර, වාණිජ අභිලාෂයන් සහිතව ස්මාරකවල අයිතිය ලබා ගත් මෑත කාලීන හිමිකරුවෝ් ඒවායේ ස්මාරකමය අගය නොසලකා වෙනස් කිරීම්, නැවත ඉදිකිරීම් වැනි කි‍්‍රයාදාමයන් හි යෙදී සිටිති. ඔවුන්ගේ දැක්ම වනුයේ ලෝක උරුම නගර සංකල්පය ඔවුන්ලේ වාණිජ අභිලාෂයන්ට හා සංවර්ධනයට බාධාවක් යන්නයි. මහනුවර පූජනීය නගරයේ සාම්ප‍්‍රදායික පදිංචිකරුවන් ස්ථානීය අනන්‍යතාවන් (පූජනීයත්වය, ආධ්‍යාත්මික අගය, සංස්කෘතික අගය) සම්බන්ධයෙන් සංවේදී වන අතර මෑත කාලීන පදිංචිකරුවන් ස්ථානීය සංචාරක විභවතාව නිසා ආර්ථිකමය ප‍්‍රතිලාභ කෙරෙහි දැඩි සැලකිල්ලකින් පසු වේ. පූජනීය නගර උරුම සම්පත් සංරක්ෂණය වෙනුවෙන් ගනු ලබන කි‍්‍රයාමාර්ගයන්හි දී ඔවුන්ගේ අඳෝනාව වනුයේ උරුම සංරක්ෂණ කළමනාකරණ සංවර්ධන සැලසුම් තුළින් තම දිවි පැවැත්මට අහිතකර බලපෑමක් වන බවයි. උරුම නගරය කෙරෙහි සංවේදී පිරිස් උරුම සංරක්ෂණ කටයුතු සඳහා ධනාත්මකව බද්ධ වන අතර, ස්ථානීය විභවතාව (වාණිජ, සංචාරක) ආර්ථික දෘෂ්ටිකෝණයෙන් සලකා කටයුතු කරන පිරිස් සංචාරක ව්‍යාපාර සැලසුම්කරණ හා සංවර්ධන කටයුතු කෙරෙහි වැඩි රුචියක් දක්වනු පෙනේ. මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ස්ථානීය උරුම සංරක්ෂණය පිළිබඳව ද, බහුතරයක් තරුණ ප‍්‍රජාව නගරයේ ආර්ථිකමය ප‍්‍රතිලාභ කෙරෙහි ද වැඩි නැඹුරුවක් දක්වන බව පෙනේ.

Tosun (2006) සඳහන් කරන පරිදි උරුම ක්ෂේත‍්‍රයක් තුළ හා අවට ජීවත් වන ප‍්‍රජාවගේ කැපවීමක් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මහනුවර පූජනීය නගරයේ ස්මාරක ගොඩනැඟිලි හිමි සාම්ප‍්‍රදායික අයිතිකරුවන් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය නම්, නගරය තුළ වාණිජ හා සංචාරක අවශ්‍යතා මත තරගකාරීව සිදු කෙරෙන ගොඩනැඟිලි නවීකරණ අනුවර්තන, පරිවර්තන සඳහා මූල්‍යමය කැප කිරීමක් කිරීමට නොහැකි වීමයි. මේ නිසා ම ඉල්ලුම ඌණ වූවත් විකල්පයක් ලෙස ස්මාරක ගොඩනැඟිලි බද්දට දීම, කල්බදු දීම, විකිණීම, අන්සතු කිරීම සිදු වන අතර ඒ තුළ ස්ථානීය ඇල්ම සහ සංරක්ෂණයට අභියෝග එල්ල වීම නො වැළැක්විය හැක්කකි. මහනුවර නගරය තුළ බොහෝමයක් පැරණි ගොඩනැඟිලි හා ස්මාරක උක්ත පසුබිම තුළ නීතිවිරෝධී ලෙස විනාශ මුඛයට පත් වූ අවස්ථා වාර්තා වී ඇත. මින් අවධාරණය කෙරෙන්නේ පැරණි ස්මාරක තුළින් ආර්ථික ප‍්‍රතිලාභල උදා කරන සංරක්ෂණමය මැදිහත්වීම් කෙරෙහි උරුම සංරක්ෂණය සම්බන්ධ රාජ්‍ය ආයතනවල කඩිනම් අවධානය යොමු විය යුතු බවකි.

නාගරික උරුම ස්ථාන ප‍්‍රතිසංස්කරණයේ හා පුනරුත්ථාපනයේ ප‍්‍රධාන වැරැද්දක් නම් වෙනත් සංස්කෘතියකට අයත් අනන්‍යතාවන් සඳහා සැකසුණු ආකෘති අනුකරණය කර අනුගත කිරීමට කටයුතු කිරීමයි. මේ වන විට ලොව පුරා ඓතිහාසික නාගරික මධ්‍යස්ථාන සියයකට අධික සංඛ්‍යාවක් ජගත් උරුම ලේඛනයට ඇතුළත් කර ඇති අතර ඒ සියල්ල එකකින් අනෙකට වෙනස් වූ අනන්‍යතාවන් හා ගැටලුවලින් සමන්විත වේ. එහෙයින් කිසියම් නාගරික උරුම ක්ෂේත‍්‍රයක සාර්ථක ප‍්‍රතිඵල ගෙනදුන් ආකෘතියක් මේ අයුරින් අනන්‍යතාවන් සහිත තවත් නාගරික උරුම ක්ෂේත‍්‍රයක් සඳහා ප‍්‍රායෝගිකව යොදා ගැනීම ගැටලු සහගත ය. සෑම නගරයක්ම එහි පුරවැසියන්ගේ කිසියම් මනෝභාවයන්ගේ තත්ත්වයක් (State of mind) ප‍්‍රකට කරයි. එපරිද්දෙන් ම පූජනීය නගරයන් ද උසුලන්නේ ඒ ආශි‍්‍රත ප‍්‍රජාවගේ මනෝභාවයන්ගේ ප‍්‍රකාශයකි. එබැවින් එබඳු නගරයන්හි උරුම සංරක්ෂණය සඳහා මැදිහත්වීමේ දී විවිධ ජනවර්ගයන්ගේ මනෝභාවයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.

නිගමනය

1988 දී යුනෙස්කෝ සංවිධානය මගින් මහනුවර පූජනීය ජගත් උරුම නගරයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම තත් උරුමය සංරක්ෂණය වැදගත් ජාතික අවශ්‍යතාවක් ලෙස පිළිගැනීමකි. එහෙත් දශක තුනකට ආසන්න කලකට පසුවත් තත් නාගරික උරුම සංරක්ෂණය පිළිබඳ අභියෝග හා ගැටලු විසඳී ඇති බවක් නොපෙනේ. උරුමයේ පාර්ශ්වකරුවන් අතර නාගරික උරුමයේ ස්වභාවය පිළිබඳ යථාවබෝධයක් නොවීම ප‍්‍රධාන ගැටලුවකි. උරුම ක්‍ෂේත‍්‍රයේ විවිධ පාර්ශ්ව කණ්ඩායම් (භික්ෂූන්, නේවාසික නාගරික ප‍්‍රජාව, ආයතනගත සැලසුම් ශිල්පීන්, වාස්තු විද්‍යාඥයින්, පුරාවිද්‍යාඥයින්, තාක්ෂණික ශිල්පීන්, දේපළ සංවර්ධකයින්, දේශපාලනඥයින්) අතර නාගරික උරුමය හා උරුම සංරක්‍ෂණය, උරුම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය පිළිබඳව මතවාදී විවිධතාව අතිශයින් ම සංකීර්ණ වේ. ඒ අතර විශේෂයෙන් නාගරික ප‍්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසක් නගරයේ සංරක්‍ෂණය සමාජ, ආර්ථික සංවර්ධනයේ මෙන් ම සංස්කෘතික අගය නඩත්තු කිරීමේ ක‍්‍රියාවලියක් ලෙස පිළිගැනීමට සුදානම් නොවීම අතිශයින් අභියෝගාත්මක ය. ජීවමාන ඓතිහාසික නගරයේ වැදගත් සන්දර්භය ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් විසින් මහනුවර අද්විතීය නගරයක් වීමට බලපෑ කරුණු පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කළ යුතු වේ. එහි දී උරුමයේ ස්පර්ශනීය හා අස්පර්ශනීය සමස්ත ගති ලක්ෂණ ආරක්ෂා කළ යුතු වේ. හුදු වාස්තුවිද්‍යාත්මක ස්මාරක, ගොඩනැඟිලි සංරක්ෂණයෙන් පමණක් ස්ථානීය ජීවය ආරක්ෂා කළ නොහැකි ය.

උරුම සංරක්ෂණ හා කළමණාකරණ ක‍්‍රියාදාමය තුළ බල සබඳතා හා බල ධුරාවලිය ප‍්‍රධාන ගැටලු සහගත කරුණකි. බහු ආංශික හා ස්තරීභූත ආයතනමය ජාලය හා දුර්වල අන්තර් සබඳතාව කළමනාකරණ ක‍්‍රියාවලියේ දී ගැටලු සහගත වන අතර, මහනුවර පූජා නගරය සම්බන්ධයෙන් මහනුවර ලෝක උරුම කමිටුව තත් ක‍්‍රියාදාමය සක‍්‍රීය හා කාර්යක්ෂම කිරීමෙහි ලා සැලකිය යුතු මෙහෙවරක් සිදු කරයි. මේ හා සම්බන්ධ ආයතන තුළ ප‍්‍රදේශීය ප‍්‍රජා නියෝජනයක් නොවීම හා උරුම පාර්ශ්වකරුවන් ගේ ධුරාවලියේ පහළ ම ස්තරය ප‍්‍රජාව නියෝජනය කිරීම තුළ හා නිලධාරීන් ඔවුන් ගැටලුවක්, කළමනාකරණය කළයුතු මෙන් ම දැනුවත් කළ යුතු පිරිසක් ලෙස ආන්තිකකරණයට ලක් කොට තීරණ ගැනීමේ ක‍්‍රියාවලීන්ට සක‍්‍රීයව බද්ධ කර නොගැනීම උරුමයේ සැබෑ හවුල්කරුවන් ලෙස ඔවුන්ට නිසි හිමි නැත අහිමි කිරීමක් සේ සැලකිය හැකි ය. මෙම පසුබිම තුළ උරුම සංරක්ෂණ කටයුතු සඳහා ප‍්‍රජා සහභාගීත්වය ඌන වීම නොවැළැක්විය හැකි ය. ප‍්‍රජාව පිළිබඳ ආයතනගත නිලධාරීන්ගේ උක්ත ආකල්ප වෙනස් විය යුතු වේ. එනම් ප‍්‍රජාව තීරණ දැනුම් දිය යුතු, තීරණ ගැනීම සඳහා උපදෙස් පැතිය යුතු, එමෙන් ම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සාධනීය ලෙස සහභාගී කරගත යුතු පිරිසක් සේ සැලකිීම, සමානාත්මතා හා ප‍්‍රජාත‍්‍රන්තවාදී ප‍්‍රවේශය ප‍්‍රජාව හා බද්ධ ගැටලු බොහෝමයකට පිළිතුර වනු ඇත. ඒ මගින් ඔවුන්ගේ සහභාගීත්ව ධාරිතාව වර්ධනය වන අතර, උරුමය හා උරුම සංරක්ෂණය පිළිබඳ සෘණාත්මක ආකල්ප වෙනස් වීමටද හේතු වනු ඇත.

පසුගිය දශකත‍්‍රය තුළ නාගරික උරුමයේ සංරක්‍ෂණය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් උරුමය වාර්තාකරණය, උරුම ලේඛනගත කිරීම, ප‍්‍රතිපත්ති සැලසුම් සංවිධානය, ආයතන ස්ථාපිත කිරීම, ගොඩනැඟිලි සංරක්ෂණය ආදී අංශවලින් ඉටු වී ඇත ද එහි කාර්යක්‍ෂමතාව හා ප‍්‍රතිඵලදායි බව සම්බන්ධයෙන් ගැටලු පවතී. නගරයේ බෞද්ධ පූජනීය අවකාශය (පුජාභූමි කලාපය වන දළදා මාලිගාව, සතර දේවාල, අස්ගිරි මල්වතු මහා විහාර) සංරක්‍ෂණය පිළිබඳ සතුටුදායක ප‍්‍රගතියක් අත් කරගෙන ඇතත් නගරයේ ලෞකික අවකාශය නියෝජනය කරන කොටුදැල් නගරයේ (Grid city) ගොඩනැඟිලි ස්මාරක සංරක්‍ෂණය පිළිබඳ වාස්තවික තත්ත්වය අධ්‍යයනයෙන් කඩා මුලිනුපුටා දැමීම, නඩත්තු දුර්වලතා, නොගැළපෙන අලුත්වැඩියා කිරීම්, ස්මාරක නොසලකා අතහැර දැමීම්, නොගැළපෙන පරිමාණයේ හා ස්වරූපයේ ඉදිකිරීම්, නීතීවිරෝධී අවිධිමත් ඉදිකිරීම්, යෝග්‍ය නොවන ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය, වාණිජමය සංවර්ධනය ආදී ගැටලු හඳුනා ගත හැකි විය. මෙකී ගැටලු අභිමුව අභියෝගයට ලක්ව ඇත්තේ ජගත් උරුම නගරයේ අද්විතීය විශ්වීය අගයයි. උක්ත ගැටලු වඩාත් සංකීර්ණ ගැටලු බවට පත් ව ඇත්තේ මීට දශක කිහිපයකට පෙර සිදු කරන ලද සංස්කෘතික හා වාස්තුවිද්‍යා අගය පදනම් කරගත් වර්ගීකරණ මත පදනම්ව වර්තමාන සංරක්‍ෂණ හා සංවර්ධන තීරණ ගැනීමට යාම හේතුවෙනි.

නාගරික උරුමයේ විශේෂ නියෝජනයක් වන වාස්තුවිද්‍යාත්මක අගයක් සහිත ස්මාරක මුහුණ දී ඇති ඛේදනීය ඉරණමින් මුදා ගැනීමේ සංරක්‍ෂණමය උපාය මාර්ගයක් ලෙස යෝග්‍ය පුනර්භාවිත (Adaptive  reuse) සංකල්පය පිළිබඳව ප‍්‍රජා අවබෝධය පුළුල් කළ යුතු වේ. මේ මඟින් නාගරික උරුමයේ තිරසාරභාවය උදෙසා දායකත්වයක් සැපයේ. සියවස් කිහිපයක් ඇතුළත විවිධ මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙස හා සංකීර්ණ ජාලයන් අතර සබඳතාවේ ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති ස්පර්ශිත හා අස්පර්ශිත නාගරික උරුම පරිසරය අප විසින් තේරුම් ගත යුත්තේ සමස්තයක් ලෙසයි. මහනුවර වැනි ජීවමාන පූජනීය ඓතිහාසික නගරයක සංකීර්ණ ගැටලු ආමන්ත‍්‍රණය කරන සංරක්‍ෂක ප‍්‍රවේශයක් මත එහි සාර්ථකත්වය රඳා පවතී.

ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

  • Arnstein, S. (1996). ‘A ladder of citizen participation’, Journal of the American Institute of Planners, pp. 216-224.
  • Appleyard, D. ((1979). The Conservation of European Cities, Cambridge, MITpress.
  • Bandarin, and Van Oers, F.R., (2012). The Historic Urban Landscape: Managing Heritage in an Urban Century, West Sussex, Willey-Blackwell.
  • Geddes, P. (2010). Cities in evolution: An Introduction to the Town Planning Movement and to the Study of Civics, Nabu Press.
  • Gu, H. and C. Ryan, (2008). ‘Place attachment, Identity and community impacts of tourism-the case of a Beiging Hutong’, Tourism Management, 29(4), pp. 637-647.
  • Hayden, D. (1995). The Power of Place. Urban Landscape as a Public History, Cambridge, Massachusetts: MIT Press.
  • Highfield, D. (1987). The Rehabilitation and re-use of old buildings, London & New York, Spon Press.
  • ICOMOS, (1987). The Washington Charter: Charter for the Conservation of Historic Towns and Urban Areas, Paris: ICOMOS.
  • ICOMOS, (1979). The Australia ICOMOS Charter for the Conservation of Places of Cultural Significance
  • Jencks, C. (1988). The Prince, the Architects and the New Wave Monarchy, London, Academy Editions.
  • Larkham, P.J. (1996). Conservation and the City, New York, Routledge.
  • Lynch, K. (1972). What Time is This Place? Cambridge, Massachusetts: MIT Press.
  • Luxen, J.L., (2004). ‘Reflection on the Use of Heritage Charters and Conventions’, Conservation: Getty Conservation Institute News Letter, 19(2), 4-9.
  • Silva, K.D., (2001).  ‘Preserving Historic Urban districts: Issues of culture change, Stress and culture- supportiveness’, in M.Edge (ed.). Old world new ideas: Environmental and cultural change and tradition in a shrinking world, Edmond, ok:  Environmental Design Research Association, pp. 15-21.
  • Sitte, C. (1965). City planning According to Artistic Principles. London: Collins.
  • Strauss, A.L., (1961) Images of the American city, New York: The free press of Glencoe.
  • Tiesdell et al. (1996). Revitalizing Historic Urban Quarters, Oxford:  Architectural Press.
  • Tosun, C. (2000). ‘Limits to Community Participation in the Tourism Development Process in Developing Countries’, Tourism Management (21), pp. 613–633.
  • Tung, A.M. (2001). Preserving the Worlds Great Cities, New York, Random House.
  • UNESCO, (1972). Convention concerning the Protection of the World Cultural and Natural Heritage, Paris.
  • රාජපක්ෂ, ඒ.එස්.ටී. (2017), ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්, දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කැරෙන පර්යේෂණ නිබන්ධය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.
  • සෙනෙවිරත්න, ඒ. (2001) සිරි දළදා වරුණ, මරදාන: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • ඩේවි දුටු ලංකාව, පරි. එච්.එම්. සෝමරත්න, (2002) කොළඹ: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,
  • නාගරික සංවර්ධන අධිකාරීය (2002), මහනුවර නගර සංවර්ධන සැලැස්ම, 33 පි.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.8.6 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

පේරාදෙණියේ, පැරණි දැව ආරුක්කු පාලම

නිලන්ති කේ. එදිරිසිංහ

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.

නිලන්ති කේ. එදිරිසිංහ

 ඛි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ ඇති වූ මහා මාර්ග සංවර්ධනය සහ ව්‍යාප්තිය දිවයිනේ සමාජ, ආර්ථික, දේශපාලනික සංස්ථාවන් කෙරේ කැපී පෙනෙන බලපෑමක් ඇති කරලීමට හේතු වූ සාධකයක් විය. ක‍්‍රිස්තු වර්ෂ 1815 ඉංගී‍්‍රසීන් කන්ද උඩරට යටත් කර ගැනීමත් සමඟ එතෙක් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන ආ වෙ‍ළෙඳ කටයුතු, පාලන අධිකාරිත්වයේ බලය තහවුරු කරගැනීමේ අභිප‍්‍රායන් මෙන්ම ඛි‍්‍රතාන්‍යවාදී ආකල්ප සහ සමාජයීය සංස්කෘතික සන්ධර්භය දේශීයකරනය කරලීමේ ප‍්‍රයත්නයන් වඩා පහසුවෙන් ඉදිරියට ක‍්‍රියාත්මක කරලීමෙහිලා මාර්ග පද්ධතිය සංවර්ධනය කෙරේ ඔවුන් ගේ අවධානය යොමු කර වූ කාරණාවන් වූ බව හඳුනාගත හැකි ය. දීපව්‍යාප්ත මට්ටමින් දිවයිනේ ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෙකී පුළුල්, සංකීර්ණ සහ දුෂ්කර වූ මාර්ග සංවර්ධන ක‍්‍රියාදාමයේ නියමුවානන් ලෙස ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති අතර ඒ සඳහා ජෝන් ෆ්‍රෙසර්, තෝමස් ස්කිනර් හා කැප්ටන් ඩෝසන් යන අය ගේ සහය ඔහු වෙත ලැබී ඇත.

සිය පාලනය සඳහා අලුතින් ඈඳාගනු ලැබූ කන්ද උඩරට රාජධානිය ඔවුන් ගේ ප‍්‍රධාන පාලන මධ්‍යස්ථානය වූ කොළඹ හා පහසුවෙන් සමිබන්ධ කළ හැකි වන පරිදි, කදුකර ප‍්‍රවාහන පද්ධතිය සංවර්ධනය කෙරේ ප‍්‍රමුඛ අවධාකය යොමු කර ඇත. මෙහි දී ක්‍රිස්තු වර්ෂ දහසය වන සියවසයේ සිට කන්දේ නුවර හෙවත් ශ්‍රේෂ්ඪ මහනුවර මාවත (The Great Kandy Road) නමින් හඳුන්වන්ට යෙදුණු කොළඹ – නුවර මාර්ගය සංවර්ධනය, කඩිනම් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ වන විට භාවිතයේ පැවතියේ කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයෙන් ආරම්භ ව අඹතලේ, කඩුවෙල, නවගමුව, හන්වැල්ල, කොස්ගම, පුවක් පිටිය, අවිස්සාවේල්ල, සීතාවක, තල්දූව, ඉපල්පිටිය, නිකවලමුල්ල, රුවන්වැල්ල, අඟුරුවැල්ල, කින්තන්තොට, කොටියකුඹුර, කුරුනේගොඩ, පින්දෙණිය, ඉද්දමල්පාන, ඇතුගල, තලවේල, දිවල, පතනගහ, අට්ටාපිටිය, බලන දුර්ගය, අමුණුපුර, දොඩන්වල, ගන්නෝරුව හරහා මහනුවර තෙක් වූ සැතපුම් 85ක් දුර මාර්ගය කි.

පැරණි මාර්ගය හා නව මාර්ගය පෙන්නුම් කරන දළ සැළසුමකි. (රතු පැහැ කඩ ඉරිවලින් පැරණි මාර්ගය (සැතපුම් 85ක් දුර) හා කොළ පැහැ රේඛාවෙන් නව මාර්ගය (සැතපුම් 72ක් දුර) පෙන්නුම් කරයි.)

එකී පැරණි මාර්ගය එඩ්වර්ඩ් බ‍්‍රවුන් විසින් (1824-1831) කැලණිය, මහර, කඩවත, පස්යාල, වරකාපොළ, අඹේපුස්ස, තෝලන්ගමුව, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, බලන,ගන්නෝරුව ඔස්සේ මහනුවර දක්වා සැතපුම් 72ක් දුර (72 සැතපුම් කණුව මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මහ මළුවට ඇතුළුවන වාහල්කඩට දකුණු පසින් වැව් ඉවුරට සමීව ඉදි කර ඇත) අලුත් මාර්ගය ඉදි කරන ලදී. එම මාර්ගය දියුණු ශිල්ප ක‍්‍රම උපයෝගී කර ගනිමින් බර කරත්ත ගමනාගමනයට සුදුසු ලෙස ශක්තිමත් පාලම් 6ක් ද සහිත ව ඉදිකර ඇත. ඒ අතරින් ගෑන්ඩ්පාස් අසළ කැලණි ගඟ හරහා අඩි 800ක් දිග පාලම් පාරුව, මාවනැල්ල පාලම සහ පේරාදෙණිය පාලම විශේෂ වේ.

මහනුවර දළදා මාලිගාව අසළ ඇති සැතපුම් 72 කණුව

ප‍්‍රස්තුත අධ්‍යයනය සඳහා අවධානය යොමු කරනු ලබන පේරාදෙණිය පාලම ඛි‍්‍රතාන්‍ය වාස්තුවිද්‍යා තාක්‍ෂණයේ නිපුණතාව විද්‍යමාන කෙරෙන නිදර්ශකයක් වශයෙන් හඳුනාගත හැකි ය. මෙහි නෂ්ඨාවශේෂ අද දක්නට නොමැති වුව ද ඒ පිළිබඳ ලිඛිත සාධක ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වා සහ වත්මන් පාලම ඉදිකිරීම් අවස්ථාව දක්වා Public Work Department (PWD) වාර්තාවල සඳහන් වේ. ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ගේ සැලැස්මට අනුව මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු, එවකට රජයේ ඉංජිනේරුවරයෙකු ව සිටි 37වන රෙජිමේන්තුවේ ලුතිනන් ජනරාල් ජෝන් ෆ්‍රෙසර් විසින් ඉටු කර ඇත. මාර්ග ඉදිකිරීම් සහ සිතියම් ඇදීමේ ක්‍ෂේත‍්‍රයන් හි නිපුණතාවකින් හෙඹි මොහු විසින් මෙම පාලමේ සැලැස්ම නිර්මාණය කර ඇත. ඒ අනුව 1826 දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 1933 ඔක්තෝබර් මාසයේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇත. ඒ සඳහා කම්කරුවන් 1,200ක ගේ ශ‍්‍රමය භාවිත කර ඇත. බ‍්‍රවුන් ගේ මාර්ග සංවර්ධන කි‍්‍රයාදාමයේ දී උඩරට ආරක්‍ෂාව වෙනුවෙන් බලකොටු ඉදිකිරීම සඳහා යොදවා සිටි කම්කරුවන් ගේ ශ‍්‍රමය ලබාගත් බවට ලිඛිත සාධක පවති. පාලමේ සමස්ත ඉදිකිරීම් සඳහා කහ පැහැති බුරුත දැව උපයෝගි කරගෙන ඇත. සම කාලීන ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ බහුල වශයෙන් යොදා ගෙන ඇති මෙම දැවවල විශේෂත්වය වන්නේ දැඩි බව, කල්පවත්නා බව, දීප්තිමත් බව, තෙතමනයට මෙන්ම වියළි උෂ්ණත්වයට වඩා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව පැවතීම ය. මෙනිසාවෙන් ම මෙම පාලම ‘බුරුත පාලම’ , ‘දැව ආරුක්කු පාලම’ යන නමින් ව්‍යවහාරයට පත් ව ඇත. ඇතැම් වාර්තාවල බුරුත හා මිල්ල යන දැව දෙක ම වාර්තා කළ බව සඳහන් වේ. ඉදිකිරීම් සඳහා උපයෝගිකර ගත් දැව සියල්ල කොළඹ දී අවශ්‍ය ප‍්‍රමාණයට කපා යතු ගා ප‍්‍රවාහනය කර ඇත.

බ‍්‍රවුන් ගේ උපදෙස් පරිදි ගලින් නිමවන ලද දෙ පස යා බැමි ආධාරක වශයෙන් උපයෝගි කර ගනිමින් තනි ආරුක්කුවක් සහිත ව නිමවන ලද මෙම පාලමේ දිග උඩි 205ක් හා පළල අඩි 22ක් වේ. ආරුක්කුව සඳහා වක‍්‍රාකාර ති‍්‍රත්ව දැව බාල්ක 4ක් (Trible ribs) හරස් අතට (පාමේ පළලට) ඒවා මැදින් මැද අඩි 5ක දුරස්තර බාවයකින් යුක්තව පිහිටන පරිදි යා බැමි හා සම්බන්ධ කර ඇත. දැව බාල්ක ත‍්‍රිත්වය එක්ව ගත් කල උස අඩි 4ක් වන අතර ආරුක්කුව නිර්මාණයේ දී එකිනෙක අතර අඩි 2ක පරතරයක් තබා නිමවීමේ දී ත‍්‍රිත්ව බාල්කයක සමස්ත උස අඩි 8කි. දැවමුවා මාර්ග පථය සමබරව පිහිටන වන පරිදි, මෙම ති‍්‍රත්ව දැව බාල්ක හතර, තිරස්ව සහ සිරස්ව (ගරාදි වැටක් මෙන්) දැව රීප්පවලින් සම්බන්ධ කර ඇත. සමස්ත පාලම ඉදිකිරීම්වල දී එකඳු යකඩ ඇණයක් හෝ කූඤ්ඤයක් භාවිත නොකර දැව කූඤ්ඤ පමණක් භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වය යි. මේ නිසා පාලම අලුත්වැඩියා කිරීමේ දී ගමනාගමනයට බාධාවක් නොවන පරිදි සහ ආරුක්කුවට හානි නොවන පරිදි කොටස් ගලවා ඉවත් කිරීමට සහ වෙනත් කොටස් පිරිද්දීමේ හැකියාව පැවතිණ.

ගංගාවේ පහළ ජල මට්ටමේ සිට රථ මාර්ගයේ මතුපිට (Road way) දක්වා පාලමේ උස අඩි 67ක් වන අතර ආරුක්කුව යටි පැත්තේ මතුපිට දක්වා උස අඩි 57 1/2ක් වේ. මේ නිසා අධික වර්ෂා කාලවල දී ගංගාවේ ජල මට්ටමට වඩා හොඳින් ඔාරාත්තු දී ඇත. 1834 දී ගඟේ ජල මට්ටම අඩි 60 දක්වා ඉහළ ගිය ද පාලමට කිසිදු හානියක් සිදු වී නොමැත. මාර්ග පථය දෙ පස දැවමුවා අත් වැටක් නිමවා ඇත. වත්මන මෙම පාලමේ දෘශ්‍යමාන සාදක කිසිවක් දක්නට නොමැති වුව ද එහි ආකෘතියක් ලන්ඩනයේ දකුණු කිංස්ටන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. පාලම ඉදිකිරීම් කටයුතු අවසානයෙන් පසු කොළඹ සිට මහනුවර දක්වා මෙම පාලම මතින් ගමන් කළ ප‍්‍රථම වාහනය වූයේ තැපැල් අශ්ව කෝච්චිය යි. මෙම කෝච්චි සේවය දකුණු ආසියාවේ ප‍්‍රථම තැපැල් අශ්ව කෝච්චිය වීම ද විශේෂ කරුණකි.

පේරාදෙණිය අලුත් පාලම

මහජනතාව වෙනුවෙන් පාලම විවෘත වූ දා පටන් ඒ හරහා ගමන් කරන මිනිසුන්ගෙන් සහ රථවාහනවලින් මධ්‍යම පළාත් රජයේ නියෝජිත විසින් බදු අයකර ගැනීම සිදුකර ඇත. ඒ අනුව 1866 දී උපයන ලද මුළු ආදායම රු. 64,250.00ක් විය. 1867 පළමු වරට කොළඹ – නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟම ඉපැයූ බදු මුදල් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් පහත වැටුණි. එය වසරකට රු 1,900.00ක් දක්වා පහත වැටුණු බව වාර්තාවල සඳහන් වේ. 1866 සිට මහනුවර මහ නගර සභාව විසින් පාලමේ නඩත්ත කටයුතු බාරව සිට 1881 දී රජයට භාර දී ඇත. නගර සභා වාර්තාවලට අනුව 1887 දී පාලමේ අලුත්වැඩියා කටයුතුවල දී කොන්ත‍්‍රාත්කරුවන් ලෙස messrs middlton company කටයුතු කර ඇත. වසර 71ක කාලයක් භාවිතයේ පැවති බුරුත පාලම ක‍්‍රමයෙන් ගරාවැටෙන ස්වභාවයට පත් වූයෙන් වාහන ගමනාගමනය නතර කරන ලදී. එහෙත් 1904 ඔක්තොබර් 14 දක්වා මගීන්ට පමණක් ගමන් කිරීම සඳහා අවසර ලබා දී ඇත. තවදුරටත් පාලම මතින් ගමන් කිරීම අනාරක්‍ෂිත සහ අවධානම් සහිත වූයෙන් නව පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව සඳහා අවධානය යොමු කර ඇත. එහි දී පාලම ගලවා ඉවත් කිරීමට පෙර තාවකාලික පාලමක් ගන්නෝරුව තොටුපොළ අසළ දී ඉදිකර පසුව අබලන් වූ පාලම ගලවා එහි කොටස් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇත. 1906 නව පාලම වානේ මාධ්‍යයෙන් ඉදිකිරීම සිදුකර ඇත. එහි දී පැරණි පාලමේ යා බැමි දෙක උපයෝගිකර ගනිමින්, ගංගාවේ පළල කොටස් 3කට බෙදෙන පරිදි, ක‍්‍රමයෙන් ඉහළට සිහින් වන සේ කළුගල් සහ සිමෙන්ති කොන්කී‍්‍රට්වලින් කුළුණු දෙකක් (දෙපස යා බැමි දෙක අතර) ඉදිකර කර ඇත. එම කුළුණු ජල මට්ටමේ දී අඩි 38×10 වන අතර ඉහළ මට්ටමේ දී අඩි 28×6ක් වේ. මේවා ජල පිටාර මට්ටමේ දී පාෂාණ මුහුණත් සහිතව සිමෙන්ති කොන්ක‍්‍රීට්වලින් නිමවා ඇත. තව ද මෙම කුළුණු නිර්මාණයේ දී අඩි 35ක් පහළ ජල මට්ටමේ දී පිළිවෙලින් අඩි 11×4 සහ 13×3 අෂ්ටඝ‍්‍රාකාර හැඩැති ද්විත්ව ළිං දෙකක් මව් පාෂාණය දක්වා ගිල්වීම කර ඇත. ආරුක්කුව සඳහා භාවිත වානේ බාල්කවල බර උසුලා සිටීමට ඔරොත්තු දෙන පරිදි මෙම ළිංවල අත්තිවාරම මව් පාෂාණය දක්වා කැන ඇත.

මෙම නව පාලම, ත‍්‍රිත්ව ආරුක්කු සහිතව, පහළ ජල මට්ටමේ සිට උස අඩි 67 අඟල් 9ක් වන සේ යා බැමි හා කුළුණු ආධාරක මත සම්බන්ධ කර නිමවා ඇත. මාර්ග පථය දෙපස අලංකාර සිමෙන්ති කොන්ක‍්‍රීට් අත්වැටක් නිර්මාණය කර අති අතර රැළි කරන ලද වානේ බිම් ගල් සහ පාරට යොදන ගල් තාර (තාර හා ගල් කැට මිශ‍්‍ර කොට පාරවල යෙදීමට ගන්නා ආලේපය) මේ සඳහා භාවීත කර ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර 1906 සැප්තැමිබර් 11 හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා ව්සින් ගමනාගමන කටයුතු සඳහා ව්වෘත කර ඇත.

(මෙම ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2015 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද  දායාද පුවත් අටුවාවෙහි පළමු වරට පල වී ඇති බව කාරුණිකව සලකන්න.//මෙම ලිපිය හා පළවන ඵලක අදාළ ලේඛිකාව විසින් සපයන ඒවා බවත් කාරුණිකව සලකන්න.)

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.07.31 www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------