Home Blog Page 12

මධ්‍ය කාලීන හෙළ කලාගාරය, පොළොන්නරුව තිවංක පිළිම ගෙය

එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ දී තරමක් වෙනස් වූ බවක් පෙනේ. මේ බව ඒත්තු ගන්වන සිතුවම් සම්ප්‍රදායන් දෙකකට නෑකම් කියන සිතුවම් රැසක් ඇති කලාගාරයක් ලෙස තිවංක පිළිම ගෙය හැඳින්විය හැකි ය. තිවංක පිළිම ගෙයි ඇති සිතුවම් බෞද්ධ සිතුවම් කලාවේ සන්ධිස්ථානයක් ලෙස සමහරු හඳුන්වති. මෙහි සිතුවම් පසු කාලින බෞද්ධ සිතුවම් වල ශෛලිය කෙරෙහි බලපෑමක් සිදුකොට ඇත. බෞද්ධ විහාරයක අඳින ලද පැරණිතම ජාතක කතා සිතුවම් දක්නට ලැබෙන්නේ පොළොන්නරුවේ  තිවංක පිළිම ගෙයෙහි ය.

ක්‍රිස්තු වර්ෂ 1153-1186 අතර කාලයේ පොළොන්නරුව රාජධානියේ රජ වූ මහා පරාක්‍රමබාහු රජතුමා කර වූ ජේතවනාරාම සංකීර්ණයේ විහාර ගෙය තිවංක පිළිම ගෙයයි. මෙය උතුරු වෙහෙර ලෙස ද හඳුන්වා ඇත. පොළොන්නරුවේ ලංකාතිලකය, ථුපාරාමය මෙන්ම මේ විහාර ගෙය ද ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙයකි. මෙහි වූ අඩි 35ක් පමණ උස හිටි බුදු පිළිමය දන, උකුල හා උරහිස යන තුන් තැනින් නැමුණු සේ ඉදිකොට තිබු බැවින් එය තිවංක පිළිම ගෙය ලෙස හැඳින්වින.

තිවංක පිළිම ගෙය
තිවංක පිළිමය

මේ ගොඩනැඟිල්ලේ දිග අඩි 133ක් පමණ වන අතර පළල අඩි 67ක් පමණ වේ. ආරුක්කු හැඩයෙන් ගඩොළින් කළ පියස්සක් තිබු මෙහි උස අඩි 55ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙහි බිත්ති අඩි 7 සිට 12 පමණ වන ඝනකමින් යුක්ත ය. මේ ගොඩනැඟිල්ල ඉදිකිරීමේ දී පශ්චාත් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය අනුගමණය කර ඇති බවක් පෙනේ. මේ ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය අනුරාධපුර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ම ස්වාභාවික සංවර්ධනයක් බව සෙනරත් පරනවිතාන මහතා අදහස් කරයි. ගොඩනැඟිල්ලේ පිටත බිත්ති විමාන, දෙවරූප, වාමන රූප, සිංහ රූප, හංස රූප, කුඩ්‍යස්ථම්භ, බෝධි සත්ව  ආදී නොයෙක් කැටයම් වලින් පරිපුර්ණ කොට ඇත. පිළිම ගෙය තුළ දෙ පස වේදිකාවේ රැඳ වු ගල් කණු ආදාරයෙන් ඉහල මහල් තනා තිබී ඇත.

තිවංක පිළිම ගෙය
කොරවක් ගලක්
මුර ගලක්

මේ හැමටම වඩා මේ විහාරය විශේෂ වන්නේ එහි දක්නට ලැබෙන බිතුසිතුවම් නිසාවෙනි. තිවංක පිළිම ගෙය තුළ සස, ආසන්කවතී, මුගපක්ඛ, මෛත්‍රී බල, වෙස්සන්තර, තුන්ඩිල, විධුර, ගුත්තිල, චුල්ල පදුම, සාම, මහා සුදස්සන, කුස, උම්මග්ග ආදී ජාතක කතා ද, බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ද, දේවාරාධනාව, සතරවරම් දෙවිවරු, බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම ආදී සිතුවම් ඇඳ තිබිණ.

චුල්ල පදුම හා මෛත්රීබල ජාතක
තේමිය ජාතකය
මහා මායා දේවිය දුටු සිහිනය

1215 දී පමණ කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කොට වසර 21ක් පමණ එහි පාලනය ගෙන ගියේය. මේ කාලයේ දී ඔහු බෞද්ධ වෙහෙර විහාර රාශියක් විනාශ කරන්නට පෙළඹින. ඒ අනුව, මේ තිවංක පිළිම ගෙය හා එහි ඇඳි සිතුවම්ද විනාශයට පත් කළේ ය. 1236 දී දෙවන පරාක්‍රම බාහු රජතුමා පොළොන්නරුව නැවත අත්පත් කරගැනීමෙන් පසු මේ තිවංක ගෙය ඇතුළු විනාශයට පත්කොට තිබු වෙහෙර විහාර රැසක් ඔහු ප්‍රතිසංස්කරණය කළේය.  

පසු කාලීනව සිංහල රාජධානිය දකුණු දෙසට සංක්‍රමණය වූයෙන් පොළොන්නරුව වල්බිහි විය. සියවස් අටක් පමණ මේ විහාර ගෙය ද අත්හැර දමා තිබූයෙන් එය ගරාවැටී ඒ මත රූස්ස ගස් පවා වැවී තිබුණි. 1885 දී පමණ මේ ගොඩනැඟිල්ල පාදා ගනු ලැබුවේ එවකට සිවිල් නිලධරියෙකුව සිටි එස්.එම්. බරෝස් මහතාය. පිළිමගෙය ගරාවැටී හා  එහි වූ සිතුවම් වල දීප්තිමත් භාවය ද බොහෝදුරට අඩු වී තිබුන ද ඒවා යම් තරමකට ආරක්ෂාවී තිබී ඇත. මේ සිතුවම් සමහරක් 1886 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ ඒ. මරේ නම් මහතෙකු විසින් පිටපත් කොට ඇත. මේ සිතුවම් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත්තේ 1940 පමණ කාලයේ දී ය. එහෙයින් මේ සිතුවම් සොයා ගැනීම හා සංරක්ෂණය කිරීම යන කාල සීමාවන් අතරතුර ද ඒවා සෑහෙන ප්‍රමාණයකට විනාශ වී ගොස් ඇති බව ද කියති.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතාත් ඊළඟ කොමසාරිස් වරයා වූ ලෝන්ග්හර්ස්ට් මහතාත් මෙහි සිතුවම් ආරක්ෂා කරගැනීමට පියවර ගෙන ඇත. සිතුවම් මතුපිට මි ඉටි ආලේප කොට ඇත්තේ ලෝන්ග්හර්ස්ට් මහතාගේ කාලයේ ය. සෙනරත් පරණවිතාන මහතා ද මේ සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ පියවර ගෙන ඇත. දැන් මේ ගොඩනැඟිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වහලක් ඉදිකර ඇත.

තිවංක පිළිම ගෙයෙහි බුදු පිළිමය ගඩොළු හා මැටි ආදියෙන් නිමවා බදාම වලින් පිරියම් කොට වර්ණාලේප කර තිබෙන්නට ඇත. පද්මාසනයක් මත ත්‍රිභංග ආකාරයෙන් නිමවා ඇති මෙහි ශීර්ෂය කොටස හා දෑත් ආදිය  විනාශ වී ඇත.

තිවංක පිලිමගෙයහි ද්වාර මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යන ස්ථාන තුනෙහිම විනාශයට පත් නොවූ සිතුවම් කොටස් දැකගත හැකි ය. පිරියම් කරනු ලැබූ වියලි බිත්ති මත රතු රේඛා වලින් සලකුණු කොට වර්ණ ගන්වා ටෙම්පරා ක්‍රමය අනුව සිතුවම් ඇඳ ඇති බව පෙනේ. සිතුවම් වර්ණ ගැන්වීම සඳහා යොදාගෙන ඇත්තේ රතු, කොළ, කහ හා කළු යන වර්ණ හතරයි. මේ වර්ණ පිළියෙළ කිරීම සඳහා යොදාගෙන ඇත්තේ සාදලිංගම්, ගුරුගල් පතඟී, නිල් අවරිය, නොයෙක් කොළ වර්ග, ගොකටු, හිරියල්, මකුළු මැටි, දුම්මල, කොහොල්ලා ආදිය පිලිස්සීමෙන් ලබාගත් දැලි ආදියයි. සිතුවම් කල් පවත්වා ගැනීම සඳහා ද නොයෙක් දේශීය අමුද්‍රව්‍ය යොදා සකස් කරගත් ආලේපන වර්ග යොදාගෙන ඇත.

මේ සිතුවම් පිළිම ගෙය තුළ ස්ථානගත කොට ඇත්තේ ද ක්‍රමවත් සැළසුමකට අනුව ය. පිළිම ගෙයි පිටත කොටසේ බෝධිසත්ව අවධියේ පාරමිතාවන් දැක්වෙන ජාතක කථා වලටත්, මැද කොටස දේව අවධියටත්, අභ්‍යන්තර කොටස බුද්ධත්වයෙන් පසු අවස්ථාවන් පිළිබිඹු කිරීමටත් වෙන්කරගෙන ඇත.

තිවංක පිළිම ගෙයි ඇඳ ඇති සිතුවම් අතරින් හඳුනාගත හැකි ලෙස ශේෂ වී ඇති සිතුවම් සමහරක් මෙසේ ය.

  1. විහාරගෙයට ඇතුළුව ඉදිරියට යනවිට පළමුව වම් පැත්තේ ආසන්කවතී ජාතකය දැක් වේ
  2. ඊළඟට ඇත්තේ සස ජාතකයයි
  3. ඒ ඉදිරිපස දකුණු පස කාලගෝල කතාවයි
  4. දකුණේ අනතුරුව මහා මායා දේවිය දුටු සීනය හා බෝසත් උපත ඇත
  5. වම් පස විදුර, චුල්ලපදුම හා මෛත්‍රී බල ජාතක කතා ඇඳ තිබේ
  6. නැවත දකුණු පස මහා සුදස්සන හා තේමිය ජාතක වේ
  7. ඊළඟට වම පස බිත්තිය පුරා තුසිත දෙව්ලොව සිටි බෝසතුන්හට බුදුවීමට දෙවි වරුන් විසින් කරන ‘දේවාරාධනාව’ දැක් වේ
  8. පිළිමය ඉදිරි පස බිත්තියේ සතර වරම් දෙවි වරුය. ඒ අතර දැක්වෙන අමුතු ආකාරයේ හිස්වැස්මක් පැළඳ ඇති අය පිට සක්වල වැසියෙක් ලෙසට සමහරු අර්ථ දක්වති
  9. පිළිමයට දකුණු පස බිත්තියේ බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම චිත්‍රණය කර තිබේ

පිළිමගේ ඇතුළත කුළුණු වල ද අලංකාර මෝස්‌තර දක්නට ඇත.

මේ සිතුවම් අතරින් විශාලතම හා කැපී පෙනෙන සිතුවම වන්නේ ‘දේවාරාධනාව’ සිතුවමයි. චිත්‍රය මැද බෝසතුන්ගේ සිතුවම ද, දෙපස පරිවාර දෙවි වරුන්ගේ සිතුවම් ද වේ. දෙවි වරුන්ගේ යටි කය මල් ගවසන ලද වස්ත්‍රයකින් සරසා ඇති අතර බාහුවල, ගෙලෙහි හා කන්වල ආභරණ පැළඳ ඇත. කේතුරූපාකාර හිස් පළඳනාවකි. මුහුණු වලින් ඉරියව්වලින් දයාව, කරුණාව, සුහද බව පෞරුෂය ආදිය ඉස්මතුකර ඇති ආකාරය අපුරුය. රුප සමානුපාතිකව හා සියුම් රේඛා වලින් විස්තර තියුණු ලෙස ඉදිරිපත් කර ඇත. ත්‍රිමාන ආකාරයෙන් නිරූපිත මේ චිත්‍රය පොළොන්නරු යුගයේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත.

දේවාරාධනාව
දේව රූප

කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනුරූ සිතුවම්

දේව රූප
ආසන්කවති ජාතකය
ආසන්කවති ජාතකය

බුදු රජාණන්වහන්සේ තාවතින්ස දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම දැක්වෙන සිතුවම ද මුළු බිත්තිය පුරාම පැතිරුණු ඉතා විශාල එකකි. අන්තරාලයේ ඇඳ ඇති ජාතක කථා සිතුවම් සාමාන්‍යයෙන් මීටර් එකක් පමණ උසකින් හා මීටර් දෙකක් පමණ පළලකින් යුක්ත වේ. මේවා අතර ඇති චුල්ල පදුම ජාතකය කලාත්මක බැවින් පිරිපුන් නමුත් සමහර ඒවා අනෙකුත් චිත්‍ර සමග සසඳන විට එතරම් සාර්ථක ඒවා නොවන බව කලා විචාරකයින්ගේ අදහස වී තිබේ.

විහාරයේ සමහර සිතුවම් වලට යටින් තවත් පැරණි සිතුවම් දක්නට ලැබුන බව කියති. මෙය පසු කාලීනව විහාරය ප්‍රතිසංස්කරණය කල බවට වූ සාක්ෂියකි. චිත්‍ර අතර යුග දෙකක ලක්ෂණ තිබෙන බව ද සැලකිය යුත්තකි. අන්තරාලයේ හා ගර්භ ගෘහයේ සම්භාව්‍ය සිතුවම් පොළොන්නරුවේ මහා පැරකුම්බා සමයට අයත්සේ සැලකෙන අතර ප්‍රවේශ මණ්ඩපයේ සිතුවම් දඹදෙණි යුගයට අයත් ලෙස සැලකේ.

ජාතක කතා සිතුවම් වල දැකිය හැක්කේ ජන චිත්‍ර කලා සම්ප්‍රදායයි. ජාතක කතාව ඉදිරිපත් කිරීම සඳහා වෘතාන්ත ශෛලියෙන් කතාවේ එක් අවස්ථාවක් චිත්‍රණය කොට ඇත.

ගොඩනැඟිල්ලේ පිටත බිත්තිවල නිර්මාණය කර ඇති විමාන, දේව, වාමන හා සිංහ රූප ආදී මුර්ති ගැන ද අවධානය යොමුකිරිම වටී. ලංකාවේ වෙනත් කිසිදු තැනක දැකිය නොහැකි තරම් සංකීර්ණ විමාන කැටයම් මෙහි දක්නට ලැබේ. ගොඩනැඟිල්ලේ පහල කොටස් අවශ්‍යතාවන් ඉක්මවා අලංකාර කොට තිබීම නරඹන්නන්ගේ නෙතට බාධකයක් වී ඇතැයි ද එය වාස්තුවිද්‍යාත්මක දෝෂයක් යයි ද අනුරාධ සෙනෙවිරත්න මහතා සඳහන් කොට ඇත.

වාමන රූප 
විමාන රූප
විමාන රූප

කලකට පෙර කෘතීම ආලෝක කිරීමෙන් තොරව මෙහි සිතුවම් වල පින්තුර ගැනීමට ඉඩ දී තිබුන ද, මේ වන විට සිතුවම්වල ආරක්ෂාව ගැන සලකා පින්තුර ගැනීමට දී තිබු අවසරය අත්හිටුවා ඇත. මේ සිතුවම්වල අනුරූ කොළඹ ජාතික කෞතුකාගාරයේ හා දඹුල්ලේ බිතුසිතුවම් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

සිංහ රූපයක්

තිවංක පිළිම ගෙය බලන්නට මට සිත්වූයේ ද කොළඹ කෞතුකාගාරයේ ඇති අනුරූ සිතුවම් දැකීමෙන් ඇතිවූ කුතුහලයයි. අනුරුවට වඩා මුල් සිතුවම දැකීම හැම අතින්ම අගනේය. එහෙයින් මේ සිතුවම් තවදුරටත් ආරක්ෂා කරගැනීම අප හැමගේ යුතුකමයි.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.28 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

ප‍්‍රාග් ඓතිහාසික කැනීම් මගින් අනාවරණය වූ පක්ෂි අස්ථි පිළිබඳ විමර්ශනයක්

සොනාලි රංගිකා පේ‍්‍රමරත්න1, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි2, ගාමිණී අදිකාරී1, ජූඩ් පෙරේරා3, අර්ජුන තන්තිලගේ1, පී. විදානපතිරණ1

1 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, 2 කළමනාකාර භාරකරු, වනජීවී උරුම භාරය, 3 කැණීම් හා කෞතුකාගාර අංශය, ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

සාරාංශය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව අධ්‍යයනය කිරීම තුළින් ඔවුන්ගේ ආහාර රටාව, දඩයම් ක‍්‍රමෝපායන් ආදිය අධ්‍යයනය කළ හැකිය. සමකයට ආසන්න දූපතක් වූ ශ‍්‍රී ලංකාව වැසි වනාන්තර අතින් පොහොසත් රටක් වේ. මේ නිසාම මෙහි ජීව විවිධත්වය ඉතා ඉහළ අගයක පවතින අතර එය ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීම් මගින් ලද සාධක අනුව ද සනාථ වී ඇත. ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් පසුගිය දශක හතරක් තුළ දී අනාවරණය කොට ගෙන ඇති සත්ව අස්ථි, දත් ඇතුළු කොටස් සංඛ්‍යාව 5,000,000 ඉක්මවා ඇත. මෙම ජීවී අවශේෂ අදින් වසර 40,000ක් තරම් පැරණි වේ. මේ අතරින් බහුතරයක් ක්ෂීරපායි සතුන් නියෝජනය කරන අතර පක්ෂි අස්ථින් ද යම් නියෝජනයක් දරයි. ශ‍්‍රී ලංකාවේ නිරිත දිග හා බස්නාහිර පිහිටි වැසි වනාන්තර ආවරණයේ දකුණු ආසියාවේ පැරණිතම සංස්කෘතික සංදර්භ සහිත ප‍්‍රාග් ඓතිහාසික ලෙන් පිහිටා ඇත. ප‍්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගෙන ඉවත ළූ සත්ව අවශේෂ එම ලෙන් තුළ සුරක්ෂිතව ඇත. ශ‍්‍රී ලංකාවේ දකුණුදිග ප‍්‍රදේශයේ වෙරළබඩ පිහිටි වැලි කදු අතරත් දිවයිනේ තවත් වෙරළබඩ ස්ථාන කීපයකත් මධ්‍ය පැලියොලිතික යුගයට අයත් ප‍්‍රාග් මානව වාසස්ථාන හමුවුව ද එහි මානව හෝ සත්ව අවශේෂ සුරක්ෂිත වී නොමැත්තේ ලවණ අධික පසත්, දැඩි සූර්ය රශ්මියත් ඇතුළු දේශගුණික හේතූන්මත ඒවා විනාශ වී ඇති නිසාය. මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් අප විසින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කැනීම්වලින් අනාවරණය කොට ගෙන ඇති පක්ෂි අස්ථි පිළිබඳව විමර්ශනයක් ඉදිරිපත් කිරීමය.

ප‍්‍රමුඛ පද: ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන, පක්ෂි විද්‍යාව, වළි කුකුළා, හබන් කුකුළා, දඩයම්, පක්ෂි අර්ධ පොසිල

වලි කුකුළා (image courtesy of http://ibc.lynxeds.com/)

පර්යේෂණ ක‍්‍රමෝපායන් සහ පර්යේෂණයට භාජනය කළ නිදර්ශක

මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී පහත දැක්වෙන ප‍්‍රාග් ඓතිහාසික සහ ඓතිහාසික වාසස්ථාන වලින් ලද පක්ෂි අස්ථි අවශේෂ හඳුනාගැනීම සහ විශ්ලේෂණය මගින් ලබාගත් දැනුම උපයෝගී කර ගන්නා ලදී. එනම් බුලත්සිංහල ෆා-හියන්ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, සීගිරිය අසල පොතාන සහ අලිගල ලෙන්, අලවල පොත්ගුල්ලෙන ආදී ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානත් ඊට අමතරව අනුරාධපුර ඇතුළුනුවර ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගයට අයත් සන්දර්භවලින් හමු වූ අවශේෂත් මාතොටින් හමු වූ අවශේෂත් වේ. මේ අතරින් බටදොඹලෙන සහ අලවල කැනීම්වලින් ලද පක්ෂි අර්ධ පොසිල පමණක් මේ ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී පර්යේෂණයට භාජනය කරන ලදී. පක්ෂි අවශේෂ නිරීක්ෂණ කටයුතුවලදී 10×20 විශාලනය සහිත ආලෝක පහසුකම් ඇති අන්වීක්ෂයක් භාවිත කරන ලදී. මිණුම් ලබා ගැනීමේ දී දශම ස්ථාන 2ක් සහිත ඩිජිටල් කැලිපරයක් (digital caliper) භාවිත කරනු ලැබිනි. මෙම පක්ෂි අවශේෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර දත්ත හා විශ්ලේෂණ අංශයේත්, කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය යටතේ සිදු කෙරෙන අලවල පොත්ගුල්ලෙන ව්‍යාපෘතියේත් තැන්පත් කර ඇත. ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් ලද පක්ෂි අවශේෂ සංසන්දනය කිරීමේ දී පහත දැක්වෙන වර්තමාන පක්ෂීන්ගේ අස්ථි භාවිත කරන ලදී. එනම්, ගෘහස්ථ කුකුළා (Gallus sp.), ශ‍්‍රී ලංකා වලිකුකුළා (Gallus lafayetii), උකුසු බකමූනා (Bubo nipzlensis), බොර කෙවුල් බකමූණා (Ketupz zeylonensis), කොවුලා (Eudynzmys scolopzceus), නීල කොබෙයියා (Chalcophaps indica), කළු කපුටා (la‍orvus levzillantii) යන පක්ෂින් වේ. වළි කුකුළා හා හබන් කුකුළාගේ අස්ථි වෙන්කොට හඳුනා ගැනීමේ දී පාදකූර්චය-කූර්චෝපරිය (Tarso-metatarsus) අස්ථියෙහි වූ පොරකටු සංඛ්‍යාව උපයෝගී කර ගන්නා ලදී. පොර කටු යුගල සංඛ්‍යාව මගින් කුකුළා ද කිකිළිය ද යන බව ද හඳුනා ගත හැකිය.

පර්යේෂණයට බඳුන් කළ අස්ථි නාමාවලිය

පාදකූර්චය-කූර්චෝපරිය (Tarso-metatarsus), හස්තකූර්චය-කූර්චෝපරිය ((Carpo-metacarpus), ජංඝා-පාදකූර්චාස්ථිය (tibio-tarsus), ඌර්වස්ථිය/කලවා ඇටය (femur), ප‍්‍රගණ්ඩාස්ථිය (humerus), අන්වරාස්ථිය/අන්වරය (ulna), අරාස්ථිය (radius), කාකතුණ්ඩිකාව (coracoid), අක්ෂකාස්ථිය (=සංයුක්ත වුණු දෙබල් හැඩති අක්ෂකාස්ථි) (furculaqfused clavicles), උරතල අස්ථිය (sturnum), ශ්‍රෝණිය (pelvis), ග්‍රෙවී කශේරුකාව (cervicle vertebra), සංත‍්‍රිකාස්ථිය (syn-sacrum), අංසඵලකය/උරපතු ඇටය (scapula), ඇඟිලි පුරුක/පර්වනය (phalanges), උරස් කශේරුකාව (horacic vertebre), ලලාට අස්ථිය (frontal bone) හා පොර කටුව(spur) යනාදියයි.

හැඳින්වීම

අපගේ අධ්‍යයනය සඳහා යොදා ගැනුණුු පක්ෂි අස්ථි අවශේෂ ශ‍්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයට (මෙසොලිතික=Mesolithic) අයත් වේ. එමෙන්ම ඒවා ප්ලයිස්ටොසීන (Pleistocene) හා හොලෝසීන (Holocene) යන භූ කාල නීර්ණයන්ට අයත් වේ. ඉහත විස්තර කළ අයුරු අදින් වසර 125,000ට කාල නිර්ණය වී ඇති මධ්‍ය පැලියොලිතික (middle Palaeolithic) යුගයට අයත් සන්දර්භ ශ‍්‍රී ලංකාවේ හමු වී තිබුන ද එහි මානව හෝ සත්ව අවශේෂ සුරක්ෂිත වී නොමැත (Deraniyagala 1992; Perera 2007). අසූව දශකය මුල සිට සත්ව පුරාවිද්‍යාඥයින් විසින් ඉහත දක්වන ලද ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීම් මගින් අනාවරණය කරගත් අස්ථි අවශේෂ හඳුනා ගැනීම හා විශ්ලේෂණය කිරීම සිදු කරයි. පුරාවිද්‍යාත්මක අර්ථකථනයේ දී කාලනිර්ණයන් අතිශය වැදගත් වන අතර කාලනිර්ණයන් සහිත ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානයන්ට අපගේ අවධානය පුළුල්ව යොමු කරන ලදී. මේ අතරින් ෆා-හියන් ලෙන, බටදොඹ ලෙන, බෙලිලෙන, අළු ලෙන ආදී ලෙන්වලට අපගේ විශේෂ අවධානය යොමු විය. වසර 2008/2009, 2010 දී කැනීම් සිදුකළ පොත්ගුල් ලෙනෙහි ද පක්ෂි අවශේෂ 112ක් අනාවරණය කොටගෙන තිබුන ද මේ වන තෙක් එහි කාලනිර්ණයන් අප වෙත ලැබී නැති බැවින් පූර්ණ අර්ථකතනයක් කිරීමට එය බාධාවක් වී ඇත (Menike et al., 2009).

බස්නාහිර හා නිරිත දිග කළාපයේ පිහිටි ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර් 500 සමෝච්ඡ රේඛාවෙන් පහළ උන්නතාංශයේ පිහිටයි. මේ අතරින් ප‍්‍රමුඛ ස්ථානය ෆා-හියන් ලෙන, බටදොඹලෙන, බෙලි ලෙන, අළු ලෙන සහ පොත්ගුල් ලෙන සඳහන් කළ හැකිය. මේ ගුහා වලින් අදින් වසර 40,000 ක් පැරණි සන්ධර්භවල සිටම පක්ෂි අවශේෂ හමු වේ (Deraniyagala, 1992; Perera, 2007). ඉහත පැරණි සන්ධර්භවල සිට පැවතෙන මෙම පක්ෂි අර්ධ පොසිල දකුණු ආසියාවෙන් හමුවන පැරණිතම පක්ෂි අවශේෂ ලෙස සඳහන් කළ හැකිය. මේ ශාස්ත‍්‍රීය ලිපියෙන් අපගේ සාකච්ඡාවට ඍජුවම සම්බන්ධ නොවුන ද අඩුම තරමින් අවසාන වසර 50,000 ඇතුළත වූ දේශගුණික තත්ත්වයන් ගොඩනැගීමෙහි ලා මෙම සාධක ඍජුවම ප‍්‍රයෝජනවත් වේ (Kennedy & Deraniyagala 1989; Premathilake & Risberg 2003; Mamendra-arachchi et al., 2009[a]). පක්ෂි අවශේෂ හැරුණු විට එම ප‍්‍රාග් ඓතිහාසික ගුහා අවට ජීවත්වන ජීවීන් ඇතුළු සමස්ත පරිසරය පිළිබඳව අධ්‍යයනය කිරීම තුළින් අපගේ මූලික අරමුණ වන පක්ෂි අවශේෂ අධ්‍යයනයටත් ඒවා අර්ථකතනයටත් විශාල පිටිවහලක් ලැබේ. 1980 සිට ඉහත දක්වන ලද ගුහා කැනීම්වලින් ලද සමස්ත සත්ව අවශේෂ හඳුනාගෙන ඇති අතර ඒවා පහත දැක්වෙන මූලාශ‍්‍රයන්හි සඳහන්ය. එනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. විජේපාලගේ අප‍්‍රකාශිත අචාර්ය උපාධි නිබන්ධයත් මහාචාර්ය ගාමිණී අදිකාරීගේ අප‍්‍රකාශිත දර්ශනපති උපාධි නිබන්ධයත් (Adikari 1998) සඳහන් කළ හැකිය. මෙම අධ්‍යයනය ප‍්‍රධාන වශයෙන්ම ෆා-හියන් ලෙන, බටදොඹලෙන, බෙලි ලෙන, අළු ලෙන, අලිගල ලෙන, පොතාන ද ඉන් අනතුරුව පොත්ගුල් ලෙනේ ද සිදුකොට ඇත (Adikari 1998; අදිකාරි 2009; Deraniyagala 1992; Perera 2007∙ Manamendra-Arachchi et al. 2009[a]; Karunarathne et al. 2009; Algiriya et al. 2009; Premarathne et al. 2009; Menike et al. 2009; Karunaratne et al. 2009; Perera et al.2009; Chandimal et al. 2009; Manamendra-Arachchi et al. 2009[b]).

පුරාණ මානවයා සහ පක්ෂි දඩයම

ප‍්‍රාග් ඓතිහාසික පක්ෂි දඩයම හැරුණු විට අනුරාධපුර ඇතුළු නුවර කැනීම් මගින් හමුවන පක්ෂි අවශේෂ අයත් වන්නේ ප්‍රොටෝ ඓතිහාසික යකඩ යුගයට (Proto historic Iron age) සහ ඓතිහාසික යුගයට අයත් සන්දර්භ තුළින් වන අතර එහි හමුවන්නේ වළි කුකුළාටත් (Gallus lafayetii) මොණරාටත් (Pavo cristatus) අයත් අවශේෂ වේ. පහළ කිරිඳි ඔය ද්‍රෝණියේ හමුවන පක්ෂි අවශේෂ පිළිබඳව අදිකාරී දක්වා ඇත (Adikari 2010).

වැදි ජනයා (Seligmann & Seligmann 1911) හා ග‍්‍රාමීය ජනයා වර්තමානයේත් පක්ෂි දඩයමට හා අනුභවයටත් පෙළඹී ඇත. පක්ෂීන් අල්ලා ගැනීම සඳහා යොදා ගනු ලබන ක‍්‍රමෝපායයන් පිළිබඳව සීගිරිය සහ දඹුල්ල අවට ප‍්‍රදේශයේ කළ ගවේෂණ මගින් අනාවරණය කොට ගෙන ඇත (Myrdal & Yasapala 1994). කෙසේ වුව ද ශ‍්‍රී ලංකාවේ වසන සෑම ජන කොටසක්ම පාහේ වළිකුකුළන් දඩයම් කොට ආහාරයට ගැනීමට පෙළඹුන ද ඔවුන් ප‍්‍රමාණයෙන් විශාල වූ මොණරුන් දඩයමට හෝ අනුභවයට ඇල්මක් නොදක්වන්නේ මොණරුන් හින්දු ආගම හා බැඳුණු සත්වයෙකු වීම හේතු වන්නට ඇත.

ප‍්‍රාග් ඓතිහාසික මානවයා සහ අස්ථි අවශේෂ (1 සහ 2 රූප) ඉහත විස්තර කළ අයුරින් ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීම් මගින් අනාවරණය වී ඇත්තේ ප‍්‍රාග් මානවයා ප‍්‍රධාන වශයෙන්ම වළිකුකුළා සහ හබන් කුකුළා ආහාරයට ගත් බවය. මෙම කැනීම් මගින් හමුවන ඉහත පක්ෂින් දෙ දෙනා හැරුණු විට ඉතිරි පක්ෂි අස්ථි බොහෝ සේ කැබලි වී ඇති බැවින් ඒවා හඳුනා ගැනීමට අපොහොසත් වී ඇත. 2010 වසර වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති පක්ෂීන් විශේෂ සංඛ්‍යාව 490 ඉක්මවනු ලබයි (Kotagama & Ratnavira 2010). විශාල විශේෂ ප‍්‍රමාණයක් නියෝජනය කරනු ලබන මෙම සත්ව කාණ්ඩය අස්ථි විද්‍යාත්මක අධ්‍යයනයේ දී හා සංසන්දනාත්මක අධ්‍යයනයේ දී හැසිරවීම පහසු කටයුත්තක් නොවනු ඇත.

වළිකුකුළා සහ හබන් කුකුළා හදුනා ගැනීමේ දී ඔවුන්ගේ සංසන්දනාත්මක අස්ථි භාවිත කළ ද ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවන 490 ඉක්ම වූ පක්ෂීන්ගේ අස්ථි එකතුවක් සකස් කිරීම ප‍්‍රායෝගික නොවේ. ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන වලින් නිවරැදිව හඳුනාගත් වළිකුකුළා සහ හබන් කුකුළා හැරුණු විට ඉතිරි අස්ථි අනෙකුත් විශේෂයන්ට අයත් බැව් තහවුරු වේ. ඒවා ඉදිරි අනාගතයේ සිදු කරනු ලබන පර්යේෂණයන් සඳහා සුරක්ෂිත කොට ඇත.

තෙත් කලාපයේ ප‍්‍රාග් ඓතිහාසික ගුහා අවට පරිසරය ජීව විවිධත්වය ඉතා ඉහළ වුව ද (Bossuyt et al. 2004) මානවයින්ට ආහාරයට ගත හැකි සතුන් දඩයම් කිරීම එතරම් පහසු නොවේ. ප‍්‍රාග් මානවයා මෙම කුකුළන් දඩයම් කරන්නට ඇත්තේ අතිශයින්ම දුෂ්කරතාවකින් යුතුව බව සිතිය හැකිය. හඳුනාගන්නා ලද සමස්ත පක්ෂි අවශේෂ අතරින් 80‍% වැඩි ප‍්‍රමාණයක් වළි කුකුළන් නියෝජිතය. වළිකුකුළන් සමූහ වශයෙන් ජීවත්වන අතර මානව වාසස්ථානයන්ට පහසුවෙන් හුරුපුරුදු වුව ද හබන් කුකුළා කුලෑටි, වැසි වනන්තරයේ ජීවත්වන පක්ෂියෙකි. ගුහා කැනීම්වලින් ලද පක්ෂි අවශේෂ අතරින් වැඩි ප‍්‍රතිශතයක් වළිකුකුළා ද පහළ ප‍්‍රතිශතයක් හබන් කුකුළා ද දරන්නට එය හේතු වූවා විය හැකිය.

වැසි වනාන්තර, ප‍්‍රාග් මානවයා සහ පක්ෂි දඩයම

දැනට සිදුකොට ඇති සත්ව පුරාවිද්‍යාත්මක විශ්ලේෂණවලට අනුව ගුහා වාසීන් ප‍්‍රධාන වශයෙන්ම ආහාරයට ගෙන ඇත්තේ ප‍්‍රමාණයෙන් කුඩා සතුන්ය. එනම්, රිළවා, වඳුරා, දඩුලේනා, කළවැද්දා, උගුඩුවා, මීමින්නා, තලගොයි ආදී සතුන්ය. අදින් වසර 12,750 තෙක් කාලනිර්ණය වී ඇති වියළි කලාපයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස විවෘත ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානයට අනුව, එහි ඉහත සතුන් මෙන්ම තිත් මුවා, ගෝනා, වල් ඌරන් යන විශාල ක්ෂීරපායීන් ද සැළකිය යුතු ප‍්‍රතිශතයක් නියෝජනය කරයි (Deraniyagala 1992; Perera 2007). අන්තර් කලාපයේ වූ අලිගල සහ පොතාන ගුහා කැනීම් ප‍්‍රතිඵල අනුව එහි වාර්තාවන සත්ව අවශේෂ තෙත් කළාපීය ගුහාවලට බොහෝ දුරට සමාන වේ (අලිගල හා පොතාන අප‍්‍රකාශිත දත්ත, 2010 සහ Adikari 1998). අපගේ පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව තුළ පක්ෂි නියෝජනය පිළිබඳ සාකච්ඡා කිරීමයි. පක්ෂි අවශේෂ වඩාත්ම සුරක්ෂිතව ඇත්තේ එළිමහන් මානව වාසස්ථාන වලට වඩා ගල් ගුහා (cave) හෝ ගල් ආවරණ (rock shelters) තුළය. එයට හේතුවන්නට ඇත්තේ පක්ෂී අස්ථි තුනී නිසා එළිමහන් වාසස්ථාන වල දී ඒවා ඉක්මනින් විනාශ වී යා හැකි වීමයි. මෙ නිසා අප අධ්‍යයනය කළ නිදර්ශක සියල්ලම පාහේ අනාවරණය කරගන්නා ලද්දේ තෙත් කළාපයේ වූ ගුහා හා ගල් ආවරණ තුළිනි.

වැසි වනාන්තර ආවරණය තුළ රංචු වශයෙන් ජීවත්වන කුර සහිත සතුන් දුර්ලභ හෙයින් එහි යැපීම් ධාරිතාව (carrying capacipy) බොහෝ සේ අවම මට්ටමක පවතී. මේ අනුව, එහි ජීවත් වූ මානවයන්ට උන් දඩයම් කිරීමේ අවස්ථාව නොලැබී ඇති බව දැනට සිදුකර ඇති ගුහා කැනීම් මගින් පැහැදිළිය (Deraniyagala1992; Perera 2007).

වියළි කලාපයේ බෙල්ලන්බැඳිපැලැස්සේ තිත් මුවා, ගෝනා, වල් ඌරා, කුළු හරකා වැනි කුර සහිත සතුන් බහුල නිසා එහි යැපීම් ධාරිතාව ඉහළ තලයක පවතී. එහි සිදුකරනු ලැබූ කැනීම්වලින් ද එය මනාව පැහැදිළි වේ. ෆා-හියන් ලෙන, බටදොඹලෙන, බෙලි ලෙන, අළු ලෙන සහ පොත්ගුල් ලෙන පිහිටා ඇත්තේ යැපීම් ධාරිතාව අවම මට්ටමක පවතින පහතරට තෙත් කලාපයේය. ඉහත දක්වා ඇති දඩයම් කළ කුඩා සතුන්ට අමතරව ගස් ගොළුබෙල්ලන් වූ Acavus මිරිදියේ වූ Paludomus ගණයේ බෙල්ලන් සහ කරමල් බෝදිලියන් (Lyriocephalus scutatus) ආදී කුඩා සතුන් මගින් පැහැදිළි වන්නේ ඔවුන් බොහෝ සේ කුඩා සතුන් මත යැපුණු බවය. භෞමික වාසී කුකුළන් සමඟ කුඩා පක්ෂි අවශේෂ හමුවීමෙන් තෙත් කලාපීය මානවයා ආහාර සඳහා පක්ෂින් වෙත දැක් වූ අවධානය පැහැදිළි වේ. එමෙන්ම ඔවුන් අතට අසු වූ සෑම පෘෂ්ඨවංශී සතෙකුම ආහාරයට ගෙන ඇති බව ගුහා අවශේෂ මගින් සනාථ වේ.

වැසි වනාන්තරවල සමස්ත සත්ව දඩයම වියළි කළාපීය තැනිතලාවල මෙන් පහසු නොවේ. එය අතිශය දුෂ්කරය. නමුත් වදුරන් හා රිළවුන් වැසි වනාන්තරයේ මීටර් 20-30 ඉහළින් වූ තුරු වියනෙහි ජීවත් වුව ද ඔවුන් බොහෝ සෙයින් දඩයම් කර ඇත. භෞමික කුකුළන් අල්ලා ගැනීම දුෂ්කර වුව ද ඔවුන් එම කාර්යය සිදුකළ බව ලැබී ඇති පක්ෂි අවශේෂ අනුව පැහැදිළි වේ.

සමකයට ආසන්න ප‍්‍රදේශවල පැතිර ඇති වැසි වනාන්තර අතර ඉතාමත් සුලභ පක්ෂීන් හැසිරීම් රටාවකිපක්ෂි ‘නඩ’ (Mixed bird flock). වැසි වනාන්තරයේ ජීවත්වන පක්ෂීන් විශේෂ ගණනාවක් ම එකතු වී සාමූහිකව වනාන්තරය පුරාම සැරිසරමින් සංකීර්ණ බැඳීම් තුළින් ආහාර සොයා ගැනීමේ ක‍්‍රියාවලිය පක්ෂී නඩ ලෙස හැඳින්වෙයි. පහතරට වැසි වනාන්තර තුළ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ පක්ෂි දඩයම ගැන සාකච්ඡා කිරීම තුළ පක්ෂි නඩ අතිශය වැදගත් වේ. ශ‍්‍රී ලංකාවේ වැසි වනාන්තර තුළ මෙම පක්ෂි නඩ දැකිය හැකි අතර එහි පක්ෂි විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක පිහිටන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ වූ උන්නතාංශය අතර ප‍්‍රදේශයෙහිය. සිංහරාජ ලෝක උරුම කලාපයේ වූ පක්ෂි නඩ පිළිබඳව බොහෝ පර්යේෂණ සිදුකොට ඇත (පී.බී. කරුණාරත්න මහතාගේ සටහන්, 1983; Goodale & Kotagama 2005; Kotagama & Goodale 2004). පක්ෂි නඩ තුළ පක්ෂින් එකිනෙකාට ආරක්ෂාව සපයමින් බොහෝ දුරට ඔවුන් සහයෝගයෙන් ආහාර සොයා ගනී. එම නඩ අතරට අපට වඩාත් සමීප වීමේ හැකියාව ද ඇත. එහි දී පක්ෂින් අප කෙරෙහි වඩාත් ම විමසිලිමත් නොවන බැවින් එසේ සමීප විය හැකිය. වසර 2010 පෙබරවාරි මස අප විසින් සිංහරාජ ලෝක උරුම කළාපයේ එක් දිනක් තුළ සිදුකළ නිරීක්ෂණ අනුව පක්ෂි නඩ අතරට අපට කෙතරම් සමීප විය හැකි ද යන්න අත්දැකීම් මත අපට පැහැදිළි විය. මෙම පක්ෂී නඩ අතරට සමීප වුවහොත් ඉතා පහසුවෙන් පක්ෂීන් දඩයම් කිරීමේ හැකියාව මිනිසුන්ට ලැබෙනු ඇත.

වැසි වනාන්තරයක පක්ෂි දඩයමේ යෙදුණු ප‍්‍රාග් ඓතිහාසික මානවයා මෙම පක්ෂි නඩ අතරට සමීප වෙමින් උන් දඩයම් කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. විශේෂයෙන්ම, පක්ෂි නඩ අතර දී වලිකුකුළාටත්, හබන් කුකුළාටත් සමීප වීම වඩාත් පහසු වෙයි. මීට අමතරව උගුල් ඇටවීම වැනි ක‍්‍රියාවල දී ද තම වාසස්ථාන අසලට පැමිණීමට සළස්වා හෝ පුරුදුපුහුණු කර දඩයම් කිරීම කරන්නට ඇත. අප මෙහි දී අවධානය යොමු කිරීමට උත්සුක වූයේ වැසි වනාන්තර වල පක්ෂි දඩයම ඉතා දුෂ්කරමුත් ඒ සඳහා ප‍්‍රාග් මානවයා යොදාගත් ක‍්‍රමෝපායයන් සාකච්ඡා කිරීමයි.

පහත දක්වා ඇත්තේ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් විසින් දඩයම් කළ භෞමික පක්ෂීන් දෙ දෙනා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයකි. මෙම විස්තරය ප‍්‍රාග් මානව පක්ෂි දඩයම පිළිබඳව අර්ථකතනයේදී වඩා වැදගත් වේ.

ශ‍්‍රී ලංකා වළිකුකුළා (Gallus lafayetii, Sri Lanka Jungle fowl) සමස්ත දිවයිනේ ව්‍යාප්තව සිටය ද වැඩි ප‍්‍රතිශතයක් වියළි කළාපයේ ජීවත් වන භෞමික පක්ෂියෙකි. බිම පහුරුගාමින් පළගැටියන්, පත්තෑයින්, වේයන් හා ගස්වලින් ඉදී වැටුණු ඵල හා ඇට වර්ග ප‍්‍රධාන වශයෙන් ආහාරයට ගනී. ආහාර පුරුදු බොහෝදුරට ගෘහස්ථ කුකුළන්ට සමානය. වැසි වනාන්තරයේ යටි රෝපණයේ වැවෙන නෙළු (Strobilanthus spp.) ශාකයන්හි මල් සහ බීජ හටගන්නා සමයේ ඒ ආශ‍්‍රිතයට බොහෝ සේ ඇදී එයි. ඒ විශේෂයෙන්ම නෙළු ගසෙන් වැටෙන බීජ ආහාරයට ගැනීමටය. රාත‍්‍රි කාලය ගත කිරීම සඳහා බිම සිට සැළකිය යුතු උසකින් ගස්වල ලගී. උදේ කාලයේ දී ලැගුම්පොළින් බිමට බැස පිරිමි සතුන් තියුණු හඩක් නගමින් අනෙකුත් කුකුළන්ට අභියෝග කරනු ලැබේ. මෙවිට තටු ගසමින් එය සිදුකරනු ලබයි. අභිජනන සමයේ දී පිරිමි සතුන් අතර කළහකාරී හැසිරීම් දැකිය හැකි අතර එකිනෙකාට පහර දීම් සිදු කරයි. පියැඹීම වඩාත් තියුණු හා ශක්තිමත් වුව ද මීටර් කිහිපයකට වඩා පියැඹිය නොහැක. හදිසි කලබලයක දී පමණක් පියාඹනු ලැබේ. ශ‍්‍රී ලංකාවට ආවේනිකය.

ශ‍්‍රී ලංකා හබන් කුකුළා (Galoperdix bicalcarata, Sri Lanka Spur Fowl) සීමිත ප‍්‍රදේශයක පමණක් ව්‍යාප්තව ඇත. විශේෂයෙන් බටහිර හා නිරිතදිග ප‍්‍රදේශයේ වූ වැසි වනාන්තරවල ජීවත් වේ. නමුත්, අන්තර් කලාපයේ හා වියළි කළාපයේ වූ ගඟ බඩ වනාන්තරවල ද (riverine forests) කළාතුරකින් වාර්තා වේ. මහ වනාන්තරවල පමණක් ජීවත්වන නිසා මෙම විශේෂය දැක ගැනීම දුෂ්කරය. අතිශයින් කුලෑටි මෙම පක්ෂියා මිනිසුන්ට නොපෙනී සිටීමට බොහෝ සේ උත්සාහ දරන අතර භෞමික දිවියක් ගත කරයි. රාත‍්‍රිය ගස් මත ගත කරයි. විවිධ බීජ වර්ග, ගස්වලින් වැටුණු ඉදුණු ඵල, වේයන් ඇතුළු කෘමීන් ආහාරයට ගනී. වියළි කොළ අතරින් තම ආහාරය සොයා ගනී. මොවුන්ටම ආවේණික වූ හඩින් පමණක් වනයේ ජීවත්වන බව හදුනා ගත හැකිය. ඉහත දක්වන ලද වළි කුකුළා හා නෙළු අතර ඇති සම්බන්ධය මෙන් නෙළු මල් සහ බීජ වඩෙන සමයේ හබන් කුකුළා ද ඒ අසල ගැවසෙයි. ශ‍්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙකි ((Legge 1983; Henry 1998; Kotagama & Fernando 1994; Kotagama & Wijesinghe1998).

නිගමනය

ඉහත ප‍්‍රාග් ඓතිහාසික කැනීම්වල දළ සංඛ්‍යාවන්ට අනුව ක්ෂීරපායීන්ට අයත් අස්ථි 75%ක් පමණ නියෝජනය වන අතර 10% අඩු සංඛ්‍යාවක් පක්ෂීන් නියෝජනය වෙයි (Deraniyagala 1992; Manamendra-Arachchi et al., 2009[b]; Menike et al., 2009; Perera et al., 2009) පක්ෂි අවශේෂ අඩු ප‍්‍රතිශතයක් නියෝජනය කිරීම තුළින් අපට ගත හැකි නිගමන කිහිපයකි. එනම්, 1. ප‍්‍රාග් ඓතිහාසික මානවයා ක්ෂීරපායින්ට සාපේක්ෂව පක්ෂීන් අඩුවෙන් දඩයම් කරන්නට ඇත, 2. ක්ෂීරපායි දඩයමට සාපේක්ෂව පක්ෂි දඩයම දුෂ්කර වන්නට ඇත, 3. පක්ෂී අස්ථි ගණකමින් අඩු හෙයින් ඔවුන් ඒවායින් වැඩි කොටසක් අනුභව කරන්නට ඇති නිසා කැනීම්වලින් ලැබෙන අස්ථි සංඛ්‍යාව සුළු අගයක් ගනියි, 4. ප‍්‍රමාණයෙන් කුඩා පක්ෂීන්ගේ, අස්ථි ද සමඟ සියලු කොටස් ආහාරයට ගන්නට ඇති නිසා එම අවශේෂ සන්ධර්භ අතර තැන්පත් වීමට අවස්ථාවක් නැත යන කරුණු සඳහන් කළ හැකිය. අප විසින් නිසියාකාරව හදුනාගන්නා ලද භෞමික පක්ෂි විශේෂ දෙකක් වන හබන් කුකුළාගේ හා වලිකුකුළාගේ අස්ථි නිරීක්ෂණයන් පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කළ හැකිය, 1. කුරුවිට බටදොඹ ලෙනෙහි සමස්ත ස්ථර හතෙහිම අඛණ්ඩව වළිකුකුල් හා හබන් කුකුල් අවශේෂ හමු වේ. ඒවා අදින් වසර 37,000 උපරිමයට අයත් වේ. මෙම අවශේෂ දකුණු ආසියාවේ ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමු වන පැරණිතම පක්ෂි අවශේෂ වේ, 2. හඳුනාගත් කුකුළු අවශේෂ අතරින් 80‍% වැඩි ප‍්‍රතිශතයක් වළිකුකුලන් නියෝජනය කරනු ලැබේ, 3. මෙම අස්ථි සමහරක් පුළුස්සා ඇති අතර ඒවායේ කෙළවරයන් කැඩී ගොස් ඇත. පූර්ණ අස්ථියක් ලෙස හමු වී ඇත්තේ අලවල පොත්ගුල් ලෙනේ සිදුකල පර්යේෂණ වලෙහි මතුපිට සන්ධර්භයෙන් හා බටදොඹ ලෙනේ BD 15 I නව 6 ස්ථරයෙන් හමු වුණු ප‍්‍රගණ්ඩාස්ථි වේ, 4. කුකුළන්ගේ හිස්කබල් කොටස් දුර්ලභය. එයට හේතු වන්නට ඇත්තේ එහි ඇති මෘදු කොටස් ඉක්මනින් විනාශ වී යාම හෝ මානවයා ආහාරයට ගන්නට ඇති බැවිනි, 5. බහුලව හමුවන අස්ථින් අතර පාදකූර්චය-කූර්චෝපරිය සහ කාකතුණ්ඩිකාව සඳහන් කළ හැකිය. මේ අතරින් පාදකූර්චය-කූර්චෝපරිය ඉතිරිව ඇත්තේ එහි ආහාරයට ගත හැකි මාංශමය කොටස් නැති බැවින් එය ඉවත ළූ නිසා විය හැකිය.

ස්තුතිය

කෞතුකාගාර නිදර්ශක අධ්‍යයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ප‍්‍රධාන උපදේශක ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය නිමල් ද සිල්වා යන මහතුන්ට ස්තුතිය පුද කරමු. එමෙන්ම පක්ෂීන් පිළිබඳ විද්‍යාත්මක මූලාශ‍්‍රය පරිශීලනය සඳහා අවශ්‍ය පහසුකම් සපයා දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් කොටගම මහතාට ද ස්තුතිය පුද කරමු. පර්යේෂණ කටයුතුවල දී නන්අයුරින් සහය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දත්ත හා විශ්ලේෂණ අංශයේ ඒ.ඒ. විජයරත්න මහතාටත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී ලංකා ක්ෂේත‍්‍ර පක්ෂි විද්‍යා කවයේ චින්තක කළුතොට මහතාටත්, ක‍්‍රිෂාන්ති ජයවර්ධන හා රිවිරසිකා මැදගෙදර යන මෙනවියන්ටත්, සංසන්දනාතමක නිදර්ශන ලබා දුන් සුදත් නානායක්කාර මහතාටත් අපගේ ගෞරවාදර ස්තුතිය පුද කරමු.

1 රූපය. ශ‍්‍රී ලංකා වළිකුකුළාගේ (Gallus lafayetii) අස්ථි. ජංඝා-පාදකූර්චාස්ථියේ කොටසක් (වම්පස), ප‍්‍රගණ්ඩාස්ථිය (ඉහළ). අලවල පොත්ගුල් ලෙන. පරිමාණ රේඛා = 10 mm (රූපය සො.ර.පේ‍්‍ර.)

2 රූපය. ශ‍්‍රී ලංකා වළිකුකුළාගේ (Gallus lafayetii) අස්ථි සංත‍්‍රිකාස්ථිය (වම්පස ඉහළ), පාදකූර්චය-කූර්චෝපරිය (දකුණුපස ඉහළ), ප‍්‍රගණ්ඩාස්ථියේ කොටසක් (වම්පස මැද), කාකතුණ්ඩිකාවේ කොටසක් (වම්පස පහළ), උරපතු ඇටයේ කොටසක් (දකුණුපස පහළ). කුරුවිට බටදොඹ ලෙන. (ඡායාරූප එච්. වී. ක‍්‍රිෂාන්ති ජයවර්ධන).

විමර්ශනය කරන ලද මූලාශ‍්‍රය

  • Adikari, G., 1998. Aspect of the Prehistory of the Sigiriya-Dambulla region. Unpub. thesis submitted for the degree of Master of Philosophy (M.Phil.) PGIAR, University of Kelaniya: 443 pp.
  • අදිකාරී, ගා., 2009. පුලතිසිපුර කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විමසුමක්, පුලතිසි වංශය (සංස්. ජයතුංග, නි. පි.), සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය, පිටු 183-192.
  • Adikari, G., 2010. Faunal resources utilization pattern from pre-urban phase to urban phase in lower Kirindi Oya basin. Sirinimal Lakdusinghe felicitation volume, (eds. Gunawardhana, P., G. Adikari & R.A.E. Coningham), Neptune Publication, 101-115 pp.
  • Algiriya, P.P., W.S. Weliange, G. Adikari, S.C. Kumara & Manamendra-Arachchi. 2009. Fish remains from the prehistoric Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 17 pp.
  • Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D.J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M.M. Bahir, K. Manamendra-Arachchi, P.K.L. Ng, C.J. Schneider, O. van Oomen & M.C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
  • Chandimal, K.M., K. Bandara, N. De Silva, G. Adikari, A. Thantilage & Manamendra-Arachchi. 2009. Human skeletol remains excavated from Alavala Potgul-lena cave in Sri Lnaka. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 22 pp.
  • Deraniyagala, S.U., 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo. 813 pp.
  • Goodale, E. & S. Kotagama. 2005. Testing the roles of species in mixed-species bird flocks of a Sri Lankan rain forest. Journal of Tropical Ecology, 21:669-676 pp.
  • Henry, G.M. 1998 (3rd ed.). A guide to the birds of Ceylon. Oxford Univ. Press., Oxford.488 pp., 32pl.
  • Karunaratne, G.A., S. Rathnayake, G. Adikari, J. Perera & K. Manamendra-Arachchi. 2009. Small mammal hunt as evident from the Alavala Potgul-lena cave excavation. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 20 pp.
  • Karunarathne, W., W. S. Weliange, G. Adikari, N. De Silva, K. Manamendra-Arachchi & D. Dilrukshi. 2009. Snail consumption of prehistoric Alavala man. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 15 pp.
  • Kennedy, K.A.R. & S.U. Deraniyagala. 1989. Fossil remains of 28,000-year-old hominids from Sri Lanka. Current Anthropology, 30(3): 394-399 pp.
  • Kotagama, S. and P. Fernando. 1994. A field guide to the birds of Sri Lanka. Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 224 pp., incl. 32 pl.
  • Kotagama, S., & G. Ratnavira. 2010. An illustrated guied to the birds of Sri Lanka. Field Ornithology group of Sri Lanka, University of Colombo, xx+356 pp.
  • Kotagama S. and Wijesinghe. 1998. Siri Laka Kurullo [in sinhala]. Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 394 pp., 32 pl.
  • Kotagama, S. & E. Goodale. 2004. The composition and spatial organization of mixed-species flocks in a Sri Lankan rainforest. Forktail, 20:63-70 pp.
  • Legge, V. 1880 (1983 2nd ed.) A history of the birds of the Ceylon. Tissara Prakasakayo, Dehiwala. 4 vols.
  • Manamendra-Arachchi, K., N. De Silva and G. Adikari. 2009(a). Ecology and environment of Sri Lanka’s wet-zone in the last 50,000 years. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 13 pp.
  • Manamendra-Arachchi, K.N., J. Perera, W.S. Weliange, A. Thantilage, W. Karunaratne, G. Adikari & N. De Silva. 2009(b). Checklist of fauna found in the excavation of prehistoric Alavala Potgul-lena Cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009 , Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 47-50 pp.
  • Menike, S.K.N., N. De Silva, G. Adikari & K. Manamendra-Arachchi. 2009. Analysis of bird remains from Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 19 pp.
  • Myrdal, E. & A. Yasapala, 1994. Hunting, trapping, catching and fishing. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla, ed. Bandaranayake, S. and M. Mogren. The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 264-286 pp.
  • Perera, J., G. Adikari & N. De Silva. 2009. Large mammal remains discovered from the Alavala Potgul-lena excavation. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 21 pp.
  • Perera, N. 2007. A review of the Prehistory of Sri Lanka. Unpublished Ph.D. dissertation, school of Archaeology and Anthropology, Australian National University, Canbera, xii+508 pp.
  • Premaratne, S.R., G. Adikari & K. Manamendra-Arachchi. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 18 pp.
  • Seligmann, C.G. & B.Z. Seligmann, 1911. The Veddas. Cambridge University Press, xx+463 pp.
  • Premathilake, R. & J. Risberg. 2003. Late Quaternary climate history of the Horton Plains, central Sri Lanka. Quaternary Science Review, 22: 1525-1541 pp.

මෙම ලිපියේ ආරම්භයේ දැක්වෙන වලි කුකුළාගේ ඡායාරූපය https://commons.wikimedia.org අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

උරුමයක අසිරිය උපනෙතින්

ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව වෙනුවෙන් කැප වූ ප්‍රමුඛතම වෙබ් අඩවිය වන archaeology.lk වෙබ් අඩවියට දස වර්ෂයක් සැපිරීම නිමිත්තෙන් “උරුමයක අසිරිය උපනෙතින්” නමින් විවෘත ඡායාරූප තරඟයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ලාංකේය පුරාවිද්‍යා උරුමය හා එහි විවිධත්වය පිලිබඳව දැනුම හා අවබෝධය පුළුල් කිරීමේ හා ඒ පිළිබඳව මහජනයා තුළ පවතින උනන්දුව වර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟය සංවිධානය කරනු ලැබේ.

මෙම තරඟය සඳහා ඕනෑම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට ඉදිරිපත් විය හැකි ය. වයස් භේදයක් නොමැත.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය නිරූපණය කෙරෙන ඕනෑම ආකාරයේ ඡායාරූපයක් ඉදිරිපත් කළ හැකි ය.

තරඟය සඳහා ඇතුළු වීම

  • සියලුම ඡායාරූප uaucompetition@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු ය. එක් විද්‍යුත් පණිවිඩයකට එක් ඡායාරූපයක් හා එයට අදාලව පහත දක්වා ඇති තොරතුරු පමණක් එවන්න. (ඔබ විසින් ඡායාරූප තුනක් තරඟය සඳහා ඉදිරිපත් කරන්නේ නම් විද්‍යුත් පණිවිඩ තුනක් එවීම සිදු කළ යුතු ය.)
  • ඡායාරූපය සමඟ නම, ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, විද්‍යුත් ලිපිනය, ස්ථානය, ඡායාරූපයේ නම සහ කුඩා විස්තරයක් ද එවිය යුතු ය. ඔබ සතු නම් අදාළ ස්ථානයේ භූගෝලීය ස්ථානීය පිහිටීම (GPS coordinates) ලැබීමට සලස්වන්න.
  • ඡායාරූප එවීමේ දී විද්‍යුත් ලිපියට අමුණා ඔබගේ ඡායාරූපය එවිය යුතු අතර Google Drive හෝ වෙනත් විද්‍යුත් දත්ත ගබඩා ආදියට අමුණ ඡායාරූප එවීමෙන් වලකින්න.
  • එක තරඟකරුවෙකුට උපරිම වශයෙන් ඡායාරූප 3ක් තරඟයට එවිය හැක. ඡායාරූපය විද්‍යුත් තැපෑලෙන් එවීමේ දී සිදුවන වැරදීම් පිළිබඳව වගකීම තරඟකරු සතු වේ.
  • ශ්‍රී ලංකාව තුළ දී ලබාගත් ඡායාරූප පමණක් එවිය යුතු ය.

තරඟ කොන්දේසි

  • ඉදිරිපත් කෙරෙන සියලු ඡායාරූප ශ්‍රී ලංකාවේ ස්පර්ශනීය පුරාවිද්‍යා උරුමය නිරූපණය කෙරෙන ඡායාරූප විය යුතු ය.
  • සංස්කරණය නොකළ, වර්ණ හෝ කළුසුදු මාධ්‍ය ඡායාරූප විය යුතු ය. (සංස්කරණය නො කළ යන්නෙන් අදහස් කරන්නේ කොටස් එකතු කිරීම, ඉවත් කිරීම, අදාළ ඡායාරූපයෙන් නිරූපිත පුද්ගලයන් හෝ ස්ථානවල පවතින ස්වරූපය විකෘති කිරීමකට හෝ වෙනස් කිරීමකට ලක් කිරීම යන්නයි. එසේ සිදු කිරීම ඔබගේ ඡායාරූප ප්‍රතික්ෂේප කිරීමට හේතුවනු ඇත.)
  • මින් පෙර ප්‍රසිද්ධ මාධ්‍යයේ පල නොවූ හා වෙනත් තරඟයකින් ජයග්‍රහණයක් නොලද ඡායාරූප විය යුතු ය.
  • ඡායාරූපයේ මුල් අයිතිය හා පිටපත තමා සතු විය යුතු අතර අවශ්‍ය වුවහොත් අප විසින් ඉලා සිටින ඕනෑම අවස්ථාවක දී සංස්කරණයට භාජනය කළ/නොකළ ඡායාරූප ඉදිරිපත් කළ හැකි විය යුතු ය.
  • ඡායාරූප නැවත අයිතිකරුට ලබාදීමට archaeology.lk වෙබ් අඩවිය බැඳී නොසිටී.
  • තරඟයට ඉදිරිපත් කරනු ලබන ඡායාරූප “archaeology.lk – ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව” අඩවියේ කටයුතු සඳහා (අධ්‍යාපනික ලිපි සහ වෙනත් කටයුතු) පමණක් භාවිත කිරීමේ අයිතිය සංවිධායකයින් සතු ය. එමෙන් ම මෙම තරඟාවලිය සඳහා වන ප්‍රචාරණ කටයුතු සඳහා ජයග්‍රාහකයින් ගේ ඡායාරූප යොදාගනු ඇත. (ඡායාරූපයේ මුල් අයිතිය අදාළ හිමිකරු සතුවන අතර අදාළ කටයුතු සඳහා භාවිත කරන අවස්ථාවේ දී හිමිකරුගේ කර්තෘ අයිතිය සඳහන් කරනු ඇත.)

තරඟය සඳහා එවනු ලබන ඡායාරූපවල තිබිය යුතු ගුණාත්මක තත්වයන්

  • තරඟය සඳහා ඉදිරිපත් කරන ඡායාරූපයේ මෘදු පිටපත් පැහැදිලි හා ඉහළ ගුණාත්මක තත්වයෙන් තිබිය යුතු අතර ඡායාරූපයේ දිගැති පැතිකඩ පික්සල් 1920 (1920 pixels) විය යුතු ය. නම්ගම් හෝ මායිම් සලකුණු හෝ දිය සලකුණු ආදිය නොමැතිවිය යුතු ය. ඡායාරූප JPGE මාධ්‍යයෙන් එවිය යුතු ය.
  • සියලුම ඡායාරූප Adobe photoshop මෘදුකාංගයේ ඉහල මට්ටමේ (level 8-12 High Quality) හා වර්ණ සංකලනය RGB ලෙස සකසා එවිය යුතු ය. (උදාහරණ සඳහා පහත ඡායාරූප බලන්න.)

ත්‍යාග

  • පළමු වැනි ස්ථානය – රු. 25,000.00
  • දෙ වැනි ස්ථානය – රු. 15,000.00
  • තෙ වැනි ස්ථානය – රු. 10,000.00
  • හොඳම ඡායාරූප 25 සඳහා සම්මාන සහතික (මුද්‍රිත හා විද්‍යුත්)
  • අනෙකුත් තෝරාගත් සියලු ඡායාරූප සඳහා සහභාගීත්ව සහතික (විද්‍යුත්)

ජනප්‍රියතම ඡායාරූප

  • පළමු වැනි ස්ථානය – රු. 15,000.00
  • දෙ වැනි ස්ථානය – රු. 10,000.00
  • තෙ වැනි ස්ථානය – රු. 5,000.00

වැදගත් දින

  • තරඟය සඳහා ඡායාරූප භාර ගැනීම ආරම්භක දිනය – 2019 ඔක්තෝබර් මස 15 වන දින
  • තරඟය සඳහා ඡායාරූප එවිය හැකි අවසාන දිනය – 2020 ජනවාරි මස 20 වන දින
  • ඡායාරූප තෝරාගැනීම පිළිබඳව දැනුම් දීම – 2020 පෙබරවාරි මස 06 වන දින
  • ජනප්‍රියතම ඡායාරූප සඳහා මනාපය පල කිරීම – 2020 පෙබරවාරි මස 07 වන දින සිට 2020 පෙබරවාරි මස 21 වන දින දක්වා
  • තෝරාගත් ඡායාරූප ප්‍රදර්ශනය කිරීම 2020 පෙබරවාරි 25 වන දින සිට archaeology.lk වෙබ් අඩවිය හරහා සිදු කෙරේ.
  • ත්‍යාග ප්‍රදානය – 2020 මාර්තු 02 වන දින (ස්ථානය හා වේලාව පසුව දැනුම්දෙනු ලැබේ.)
  • මෙම දිනවකවානු වල යම් වෙනස්වීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව තොරතුරු archaeology.lk වෙබ් අඩවියේ හි සහ archaeology.lk නිල ෆේස්බුක් අඩවියෙ හි පල කරනු ඇත. තව ද තරඟය සඳහා ඇතුළත් වූවන් ගේ පෞද්ගලික විද්‍යුත් ලිපිනයන් වෙත ද දැනුම්දෙනු ඇත.

පිළිපැදිය යුතු වෙනත් කරුණු

  • ඔබගේ ඡායාරූපය තෝරාගැනීම සම්බන්ධව විස්තර ඔබගේ විද්‍යුත් ලිපිනයට පෞද්ගලිකව දැනුම්දෙනු ලැබේ. ඒ පිළිබඳව තොරතුරු ඔබ වෙත පෞද්ගලිකව දැනුම්දෙනු ලබන්නක් බැවින් ප්‍රසිද්ධ මාධ්‍යයේ එම තොරතුරු හෙළි කිරීමෙන් වලකින්න.
  • archaeology.lk කණ්ඩායමේ සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට මෙම තරඟයට සහභාගී විය නො හැක.
  • ඡායාරූපකරණය පිළිබඳව ප්‍රමුඛ ගණයේ විද්වතුන් ති දෙනෙකු විසින් ස්වාධීනව අදාළ විනිශ්චය සිදුකරනු ඇත.
  • ජනප්‍රියතම ඡායාරූප සඳහා මනාප සමාන වු අවස්ථාවක, නමෙහි ඉංග්‍රීසි අකාරාදියේ ආරෝහණ පිලි වෙලට සකස් කල විට 1, 2 හා 3 පිලිවෙලට ත්‍යාග දෙනු ලබයි.
  • ඔබට ගැටළු සහගත තැනක් හෝ අපැහැදිලි යමක් වෙතොත් uaucompetition@gmail.com යන විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් එවීමෙන් හෝ 071 957 7169 (රුමල්) යන අංකය ඇමතීමෙන් අවශ්‍යය තොරතුරු ලබාගත හැක.
  • ඡායාරූපයක් තරඟයට ඉදිරිපත් කල පසු අයදුම්කරු මෙම සියලු කොන්දේසිවලට එකඟ බව සැලකේ.

ඡායාරූප එවිය යුතු ලිපිනය uaucompetition@gmail.com

රුවන්වැලි සෑයෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ

කේ.එච්. තිලිනි දුමින්ද්‍යා

පුරාවිද්‍යා නිලධාරි, ආළාහන පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව.

තිලිනි දුමින්ද්‍යා

රුවන්වැලි සෑය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා සේම එහි විද්‍යාමානව පවතින ස්තූප අංග නිරීක්‍ෂණය කිරීමේ දී ද වැදගත් වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස අපට හඳුනාගත හැකි ය. ඒ තුළින් අපගේ අතීත මුතුන්මිත්තන් සතුව පැවැති වාස්තු විද්‍යාත්මක දැනුම, තාක්‍ෂණය පිළිබඳව වූ කරුණු බොහෝමයක් සොයාගත හැකි ය.

රුවන්වැලි සෑය මහාවංසයේ සඳහන් ආකාරයට නිම වූ පසු එහි උස රියන් 120ක් (අඩි 300) විය. එවකට ශ‍්‍රී ලංකාවේ උසම හා විශාලතම ස්තූපය එය විය. එනිසාවෙන් මහා ථූපය ලෙස හඳුන්වන ලදී. නමුත් මෙය මධ්‍යම ප‍්‍රමාණයේ ස්තුපයක් බව සංඝයා විසින් මුල දී ප‍්‍රකාශ කර තිබුණි. සෙනරත් පරණවිතාන මහතා රුවන්වැලි සෑය පිළිබඳව පර්යේෂණ කරන අවධියේ විශ්කම්භය අඩි 298ක් විය. පළමු ස්තූපය වර්තමාන ප‍්‍රමාණයන් හා බොහෝ දුරට සමාන බවත්, පසු කලෙක දී කරන ලද ප‍්‍රතිසංස්කරණ වලින් මුල් ප‍්‍රමාණයන් විශාල නොවු බවටත්, එය ඔප්පු කිරීමට පුරාවිද්‍යාත්මක සාධක පවතින බවටත් සෙනරත් පරණවිතාන මහතා පවසයි. ස්තූපය හැඳින් වූ මහා ථූප යන නාමය ඊට උචිත වුවකි. නිමවීමෙන් පසු මෙම ස්තූපයේ ප‍්‍රමාණය පරදවන තරම් අන් එබඳු නිර්මාණයක් ලංකාවේ පමණක් නොව මුළු බෞද්ධ ලෝකයේම නොවී ය. අනුරාධපුරයෙහි පිහිටි පසු කාලයට අයත් ස්තූප දෙකක් ප‍්‍රමාණයෙන් රුවන්වැලි චෛත්‍ය අභිබවා සිටිය ද රුවන්වැලි සෑය නිර්මාණය කළ දුටුගැමුණු රජතුමා කෙරෙහි බැඳී පවත්නා අපූර්ව ගෞරවය හා අනෙක් හේතූන් නිසා මෙම ස්තූපයට ලංකාවේ ස්තූප අතර ප‍්‍රධාන ස්ථානය වීමට හැකි වී ඇති බව සිංහල බෞද්ධයන්ගේ පිළිගැනීම වේ (පරණවිතාන 1963, පිටු 5).

මුල් රුවන්වැලි සෑය පේසා වළලූ තුන, ගර්භය, හතරැස් කොටුව, ඡත‍්‍රය යන අංගයන්ගෙන් යුක්ත විය. එම එක් එක් අංගයන් පිළිබඳව වු වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ මොනවාද යන්න විමසා බලමු.

පාදම

රුවන්වැලි ස්තූපය ගොඩනැංවීම පිළිබඳ මහාවංසයේ දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් එහි අතුළත් වන්නේ ස්තූප නිර්මාණය පිළිබඳ සත්‍ය තොරතුරුවලට වඩා ගුණවර්ණනාත්මක කතා පුවත්ය. කෙසේ වුවත් මෙම කතා පුවත අතුරෙහි ස්තූපයේ නිර්මාණ ලක්‍ෂණ ගැන අහම්බෙන් ඇතුළත් වූ තොරතුරු ස්වල්පයක් වේ.

රුවන්වැලි සෑය නරඹන්නකුට විද්‍යාමාන වන එක් අංගයන් වන්නේ පේසා වළලුය. එය ස්තූපයේ පහළින්ම දක්නට ලැබේ. පේසා වළලු නිර්මාණය කිරීමට ප‍්‍රථම එහි අත්තිවාරම නැතහොත් පාදම නිර්මාණය කරගත යුතු ය. එනිසාවෙන් අත්තිවාරම පිළිබඳ ප‍්‍රථමයෙන් කරුණු සොයා බැලීම වැදගත් වේ. ගඩොළින් බඳින ලද ස්තූපය එහි බරින්ම කිදා බැසීම වැලැක්වීම පිනිස අත්තිවාරම ස්ථිර ලෙස පිහිටුවීමට ඉතා සැලකිලිමත් වූ බව පෙනේ. එහි දී දුටුගැමුණු රජු සත් රියනක් පොළොව යටට කැන ගඩොළු, කළු ගල්, හුණු ගල් ආදිය විවිධ ගල් වර්ග දමා ඇතුන් ලවා පාගවා පාදම ඉතාම ශක්තිමත් ලෙස නිර්මාණය කරන ලද බව මහාවංසයේ සඳහන් කතා පුවතින් පැහැදිලි වේ (පරණවිතාන, 1963, පිටු 11). බෙල් මහතා විසින් අභයගිරිය ස්තුපයේ අඩිතාලම පෑදීමේ දී පඩි සහිත ගඩොළු බැම්මකින් යුත් එහි අත්තිවාරම මළුව මට්ටමේ සිට අඩි 26ක් යට සිට පටන් ගන්නා බවත්, ගඩොළු බැම්මට යටින් කොන්ක‍්‍රීට් තට්ටවක් අතුරා තිබූ බවත් දැන ගන්නා ලදී (Bell, ASCA Report, 1894, P. 02). මේ අනුව සසඳන විට අභයගිරිය ස්තූපයට තරම් නොවුවත් රුවන්වැලි සෑයෙහි පාදම ද ඉතාමත් ශක්තිමත් ලෙස සකස් කිරීමට කටයුතු කොට ඇති බව පැහැදිලි වේ. ඒ අනුව, රුවන්වැලි සෑයෙහි ස්ථිර බාවය ආරක්‍ෂා කිරීම පිනිස විශාල පරිශ‍්‍රමයක් දැරූ බව පැහැදිලි වේ.

ගර්භයෙහි ආකෘතිය

මහා ථූපයෙහි හැඩය සම්බන්ධයෙන් ද මහාවංසයේ කරුණු සොයාගත හැකි ය. දුටුගැමුණු රජ විසින් දාගැබෙහි හැඩය කුමනාකාරයෙන් විය යුතු දැයි ප‍්‍රධාන නිර්මාණ ශිල්පියාගෙන් විමසූ අවස්ථවේ දී, “රන් තලියක් ජලයෙන් පුරවා අතින් දිය ටිකක් ගෙන දිය මතුපිට නැඟීය, එවිට අර්ධගෝලාකාර පළිඟුවක් මෙන් වූ මහා දිය බුබුලක් පැන නැන්ගේ ය” (මහාවංසය, 30 වැනි පරිච්ජේදය, ගාථා 12-13). එම දිය බුබුළේ හැඩයට ස්තූපය ගොඩනංවන ලෙස ශිල්පියා රජුට පවසා ඇත. මෙම සිදුවීම පිළිබඳව විශ්වාසනීයත්වය කෙසේ වෙතත් මහාවංසය රචනා කරන අවධියේ දී මහා ථූපය අර්ධගෝලාකාර ගර්භයකින් යුක්ත වූ බව එයින් තහවුරු වේ. එම්. ෆුෂේ මහතාට අනුව බුබ්බුලාකාර හැඩය බුද්ධ ධර්මයේ නිතර හුවා දක්වන ලෝකයේ අනිත්‍ය ස්වභාවය උසස් ලෙස පිළිබිඹු කෙරෙන සංකේතයකි. රුවන්වැලි සෑයෙහි ගර්භ ආකෘතිය සම්පූර්ණයෙන්ම අර්ධගෝලාකාර නොවේ. මුදුනෙහි මදක් පැතලි වී තිබේ. එය එසේ වන්නේ ගර්භයේ ඉහළින් හතරැස් උපරි භාගය සඳහා ඉඩකඩ ඇති කිරීම පිණිස වේ (පරණවිතාන, 1963, පිටු 12). පසු කාලීනව සිදු කරන ලද ප‍්‍රතිසංස්කරණ කර ඇත්තේ ද එම බුබුලාකාර අකෘතියට අනුවමය (වික‍්‍රමගමගේ, 1990, පිටු 39).

ස්තූපයේ කොටස් (චන්ද්‍රා වික‍්‍රමගමගේ මහතාගේ ‘ස්තූපය’ ග‍්‍රන්ථයෙනි)

පේසා වළලු

පේසා වළලු මේධ, පුප්ඵධාන, වේදිකා, ත‍්‍රිමාල, මල්පියවසා ආදී නම්වලින් හඳුන්වනු ලැබේ (වික‍්‍රමගමගේ 1990, පිටු 50). මහා ථූපයේ ගර්භය එක පිට එක ගොඩනඟන ලද වටකුරු මාලකයන් 3ක ඉහළම මාලකයෙන් පැන නැඟෙන ආකාරයට නිර්මාණය කොට තිබේ. මේවායේ උඩ මාලය ඊට පහතින් ඇති මාලයට වඩා කුඩා විශ්කම්භයකින් යුක්ත වේ. මෙම මාලක මහාවංසයේ පාලියෙන් සඳහන් වන්නේ පුප්ඵධාන යන වචනයෙනි. එහි අර්ථය වන්නේ මල් පුදන ස්ථානය යනුවෙනි. ඒ අනුව, මෙම මාලක මුල් කාලීනව මල් පිදීම පිනිස භාවිත කළ බවට අනුමාන කළ හැකි ය. වත්මන් ස්තුපවල පේසා වළලුවල මල් පූජා කිරීම දක්නට ලැබේ. එය කාලයක දී මෙය ප‍්‍රදක්ෂණා කිරිමට නිර්මාණය කරන්නට අනුමාන කෙරේ. මහා ථුපයෙහි පේසා වළලූ ආරම්භයේ දී ගඩොලින් නිර්මාණ කරන ලදී. එහෙත් ලඤ්ජිතිස්ස රජු (ක‍්‍රි.පූ. 59-50 දී පමණ) විසින් ඒවා සුදු හුණුවලින් ආවරණය කරන ලදී (මහාවංසය, 33 වැනි පරිච්ජේදය, ගාථා 21-22). මෙලෙස නිර්මාණය වුණු පේසා වළලුවල පාදයන් විවිධ බොරදම්වලින් පසු කාලීනව අලංකෘත විය. හත්ථිවේදී හෙවත් ඇත් රූපවලින් පේසා වළලු අලංකරණය කරන ලදී. මහානාග රජු විසින් මහා ථූපයට එය එක් කරන ලදී. රුවන්වැලි සෑයේ මුදුන්ම පේසාවේ සිට ගැටිය දිගේ බිත්ති තලයේ සිට අඟල් 10ක් හෝ 12ක් පිටට නෙරා සිටින සේ අඩි 6 අඟල් 3ක් පමණ වූ නියත පරතරයන් අතර ඇත් හිස් නිමවා ඇත. මෙම ඇත් රූපවල යටි පැත්තෙහි කණු දරා සිටීමට මෙන් හරන ලද ඇලි විය. ඇත් හිස්වලින් සැරසූ ගරාදි වැටක් වී නම් ඊට උචිත වූ හත්ථිවේදී නාමයෙන් එය හඳුන්වන්නට ඇති බව සෙනරත් පරණවිතාන මහතා පවසයි (පරණවිතාන, 1963, පිටු 15).

මහා ථූපයේ මුදුන් පේසාව මත ගරාදි වැටක් ද තිබූ බවට සාධක තිබේ. භාතිකාභය රජු රුවන්වැලි සෑය සඳහා ගරාදි වැටවල් 2ක් තැනූ බව මහාවංසයේ සඳහන් වේ. කුච්ඡුවේදී හා මුද්ධවේදික යන නාමයන්ගෙන් එම ගරාදි වැටවල් 2ක් තැනූ බව මහාවංසයේ සඳහන් වේ. කුච්ජවේදී හා මුද්ධවේදික යන නාමයන්ගෙන් එම ගරාදි වැටවල් 2 මහාවංසයේ ටීකාවේ විස්තරයට අනුව සඳහන් වේ. මුද්ධ වේදිකා යනු ගර්භය මුදුනේ පිහිටි ගරාදි වැට වේ. කුච්ඡු යනු උදර යන්න වේ. ඒ අනුව කුච්ජ වේදිකා යනු ගර්භය හා සම්බන්ධව පැවැති ගරාදි වැටක් විය හැකි ය (පරණවිතාන, 1963, පිටු 15).

පාදම මත නිර්මාණ වූ රුවන්වැලි සෑයෙහි තුන් මහල් පේසාව මුල් කාලීනව ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙසත්, පසුව මල් පිදීමට භාවිත කළ බවත් අනුමාන කළ හැකි ය. එසේම තුන් මහල් පේසාවන් අතුරින් මුදුන් පේසාව ඇත්හිස් රූපවලින් හා ගරාදි වැටකින් විවිධ අවස්ථාවලදී අලංකාර වූ බවට පුරාවිද්‍යාත්මක සාධක පවතී.

පේසා වළලු තුන ගරාදි වැටවල් සහිත පේසාව
ස්මිදර් මහතා විසින් වාර්තා කරන ලද පේසා වළලුවල දැක්වෙන ගරාදි වැට (Architectural Remains in Anuradhapura ග‍්‍රන්ථයෙනි).

ධාතු ගර්භය

මහා ථුපයෙහි පේසා වළලු තුන සම්පූර්ණයෙන් ඉදි කොට අවසන් වූ පසු ගර්භය නිර්මාණය කිරීමට ප‍්‍රථම මුදුන් පේසාව මත ධාතු ගර්භය තැනීමට කටයුතු කරන ලදී. ඒ පිළිබඳව මහවංසයේ දීර්ඝ විස්තරයක් දැක්වේ. එම වර්ණනාවේ එන විස්තරයන්ට අනුව බොහෝ ප‍්‍රකාශයන් විශ්වාසනීයත්වයෙන් තොර වේ. මෙහි දී ගල් පුවරු 6ක් භාවිත කොට ධාතු ගර්භය නිර්මාණය කළ බවට තොරතුරු මහාවංසයේ දැක්වේ. ඒ අනුව, ධාතු නිදන් කිරීමට ගල් පුවරුවලින් සකස් කරන ලද මඤ්ජුසාවක් යොදා ගත් බව පෙනෙයි. මෙලෙස නිර්මාණය කරගත් ධාතු ගර්භය තුළ ධාතු කරඬුව පමණක් නොව විවිධ වටිනා වස්තු ද තැන්පත් කරන ලදී. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංසයේ 30 වැනි පරිච්ෙඡ්දයෙන් අනාවරණය කෙරේ. සමහර වස්තු ඇදහිය නොහැකි වටිනා ඒවා ය. කෙසේ වෙතත් මුදුන් පේසාව මත ධාතු ගර්භය නිර්මාණය කළ බවට අනුමාන කළ හැකි ය (පරණවිතාන, 1963, පිටු 16, 20).

ගර්භය

ගර්භය කුච්ජ, උදර, අණ්ඩ, ථුප, චේතිය ආදී නම්වලින් හඳුන්වනු ලැබේ (වික‍්‍රමගමගේ, 1990, පිටු 34). රුවන්වැලි සෑයේ මුදුන් පේසාව මත ධාතු නිදන් කිරීමට ධාතු ගර්භය නිර්මාණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජු හා ප‍්‍රධාන නිර්මාණ ශිල්පියා කතිකා කරගත් ආකාරයට ගර්භය බුබ්බුලාකාර ලෙස නිර්මාණය කළ බව මහාවංසයේ සඳහන් වේ. ගර්භය ගඩොලින් නිර්මාණය කරන ලදී. පරණවිතානයන්ට අනුව මහා ස්තුපයන්ගේ විශාල ගර්භයන් සම්පූර්ණයෙන්ම ගඩොලින් පමණක් ඝන ලෙස ඉදි නොකරන ලදැයි සිතිය නොහැක. ගඩොල් හා පස් යන දෙකම භාවිත කරන්නට ද ඇත. පසු කාලීන ගරාවැටීමෙන් හමුවන ස්තුප ගර්භවල බොහොමයක් දක්නට ලැබෙනුයේ පස්ය. ඇතැම් විට එම පස් ගඩොල් දිරාපත් වීම නිසා නිර්මාණය වුවක් ද විය හැකි ය. කෙසේ වෙතත්, මහා ස්තුපයේ ගර්භය නිර්මාණයයේ දී බොහෝ සෙයින් ගඩොල් භාවිත කළ බවට බොහෝ සාධක තිබේ (පරණවිතාන, 1963, පිටු 20-21). 1886 දී අනුරාධපුරයට ගිය හෙන්රි පාකර් මහතාට රුවන්වැලි සෑය ප‍්‍රතිසංස්කරණය කටයුතු පරීක්‍ෂා කිරීමේ දී දක්නට ලැබුණු එක්තරා ලක්‍ෂණයක් පිළිබඳව ඔහු විසින් රචිත Ancient Ceylon නම් ග‍්‍රන්ථයේ සඳහන් කරයි. ගර්භයෙහි බාහිර බැම්මේ සිට අඩි 20ක් පමණ ඇතුළතින් තවත් බැම්මක් විය. ඇතුළත බැම්මට පිටත බැම්ම මෙන් බැමි යොදා නොතිබුණි. ඇතුළත බැම්මේ ගඩොල් හා පිටත බැම්මේ ගඩොල්වල ප‍්‍රමාණයන් ද සමාන නොවීය. මේ නිසා පාකර් මහතාගේ අදහස වුයේ ඇතුළත බිත්තියෙන් දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද චෛත්‍යය පෙන්නුම් කරන බවත්, පිටත බිත්තියෙන් පෙන්වන්නේ පසු කාලයේ දී මෙම චෛත්‍යය විශාල කිරීමක් විය හැකි බවත්ය. බිත්ති කිහිපයකින් යුක්තව චෛත්‍යය සැදීමේ පැරණි සම්ප‍්‍රදාය පිළිගැනීමට පාකර් අකමැති වූ බව පෙනේ. එහෙත් මෙවැනි ලක්‍ෂණ වෙනත් චෛත්‍යයවල දක්නට ලැබීමත්, රුවන්වැලි සෑය විශාල කළ බව කිසිදු සඳහනක් වංස කතාවල හෝ වෙනත් ලේඛනවල සඳහන් නොවීමත් නිසා පරණවිතානයන්ගේ මතය නම් බිත්ති 2ම ආරම්භයේදීම ඉදිකළ බිත්ති 2ක් මිස වෛත්‍යය විශාල කිරීමක් නොවන බවයි (කරුණානන්ද, 1994 , පිටු 51).

හතරැස් කොටුව

රුවන්වැලි සෑයේ ගර්භයේ වැඩ නිමවනවාත් සමඟ දුටුගැමුණු රජු රෝගාතුරු විය. අනතුරුව රජු මිය යෑමෙන් පසු රුවන්වැලිසැයෙහි ඉතිරි ඉදිකිරීම් සිදු කරනු ලැබුවේ සද්ධාතිස්ස රජු විසිනි. මහා ථුපයෙහි හතරැස් කොටුව නිර්මාණය විය. හතරැස් කොටුව මුද්ධවේදි, හර්මිකා, චතුරස්සවය, ද්‍රෝණ යන නම් වලින් හඳුන්වා ඇත (වික‍්‍රමගමගේ, 1990, පිටු 52). හතරැස් කොටුව නිර්මාණය සඳහා ගඩොල් භාවිත කර ඇත. පේසාව හා ගර්භයට සම්බන්ධ කොට ගරාදි වැටක් නිර්මාණය කළා සේම මුදුන් ගරාදි වැටක් ද නිර්මාණය කරන ලදී. භාතිකාභය රජු විසින් නිර්මාණය කරන ලද ගරාදි වැට දිරාපත් වූ නිසා පසුව ආමණ්ඩගාමිණි රජු විසින් නැවතත් අලුත් ගරාදි වැටක් රුවන්වැලි සෑයට එක් කරන ලදී. මුල් කාලීන ලක්දිව පැරණි දාගැබ්වල මුදුන් ගරාදි වැටක් තිබුණ ද ඒ පිළිබඳව සාධක හමු නොවන්නේ එය සිටුවන ලද්දේ ලීයෙන් නිසා විය හැකි බව සෙනරත් පරණවිතානයන් පවසයි. ඒ අනුව, මහා ථූපයේ මුල් කාලීනව නිර්මාණය කරන ලද මුදුන් ගරාදිවැට ලීයෙන් තනන ලදී (පරණවිතාන, 1963, පිටු 26-27).

මෙලෙස නිර්මාණය වූ රුවන්වැලි සෑයේ හතරැස් කොටුවේ පාදම හා උඩු ලී ස්තර බොරදම්වලින් යුක්ත විය. හතරැස් කොටුවේ සිරස් බිත්තිවල මතු පිට බිත්ති කුළුණුවලින් සැදි ගරාදි වැට මෝස්තරයෙන් අලංකාර විය. මෙම ගරාදි වැට මෝස්තරය හුදු සැරසිල්ලක්ම වශයෙන් නොසැලකු බව සිතිය හැකි ය. දාගැබ් කරන්නවුන් විසින් වෛත්‍යයවල මෙම කොටසෙහි සැබෑ ගරාදි වැටක් ඉදිකරන්නට පුරුදුව සිටින්නට ඇත. වරින්වර චෛත්‍යය ප‍්‍රකෘතිමත් කිරීමට තිබූ අසීරුකම නිසා ලීයෙන් ගරාදි වැට තැනිමේ පුරුද්ද අත්හළ බව සිතිය හැකි ය. එහෙත් එම අංගය වෛත්‍යයකට අවශ්‍යයැයි සැලකු නිසා එය දැක්වීම පිනිස ගාඩාලින් හා බදාමෙන් ව්‍යාජ ගරාදි වැටක් තනන ලදී. හතරැස් කොටුව හතර පැත්තෙහි සූර්ය හා චන්ද්‍ර සංකේත නිර්මාණය විය. හතරැස් කොටුවේ පැතිවල ඉර හඳ දැක්වීමේ සිරිත වර්තමානයේ ද පවතී. සූර්ය සංකේතය දැක්වෙනුයේ බුදුරදුන් සූර්ය වංශයෙන් පැවත එන නිසා විය හැකිය (පරණවිතාන, 1963, පිටු 27 -28).

පොළොන්නරුවේ රන්කොත් වෙහෙරේ ගර්භයෙහි පැතලි ගර්භයෙහි පැතලි මුදුන මත වූ හතරැස් කොටුවේ පදනම වටේ ගල් කණු අටක් පිහිටා තිබී ඇති බව බෙල් මහතා සිය වාර්තාවල සඳහන් කර තිබේ. පොළොන්නරු කිරි වෙහෙරෙහි ගර්භය මුදුනෙහි වූ හතරැස් කොටුවේ එක් කොනක එක බැගින් සිව් කොනෙහි එබඳු කණු හතරක් පිහිටුවා තිබේ. රුවන්වැලි දාගැබ ප‍්‍රකෘතිමත් කිරීමට පෙර එහි ගර්භය මත ද එවැනි කණු සිටුවා තිබුණු බවට විශ්වාස කළ හැකි තොරතුරු තිබේ. නමුත් දැනට මහා ථුපය පිළිබඳව කෙරෙන කිසිදු විස්තරයක මෙම ප‍්‍රවෘත්තිය සඳහන් නොවේ. මෙම කෙටි ගල් කණුවලින් අදහස් කෙරෙනුයේ කුමක්දැයි නොපැහැදිලිය. ගර්භයේ නැවත බදාම ගෑමකට හෝ හුණු පිරියම් කිරීමකට හෝ අවශ්‍ය වූ විට පලංචි බඳින විට කඹ බැඳීම සඳහා මේ කණු ප‍්‍රයෝජනයට ගත්තා විය හැකිය. ඇතැම්විට ඒවායින් නොදන්නා යම් කිසි සංකේතික ලක්‍ෂණයක් අදහස් කළා ද විය හැකිය (පරණවිතාන, 1963, පිටු 23-24).

ඡත‍්‍රය, ඡුත‍්‍රාවලිය හා යූපය

රුවන්වැලි සෑයට හතරැස් කොටුව එක්වීමෙන් පසුව ඡුත‍්‍රයක් ඒ මාධ්‍යයෙහි සවිකරන ලදී. ඡත‍්‍රය යම් කිසි දණ්ඩයකින් උසුලා සිටියා විය හැකි ය. ලක්දිව පැරණි දාගැබ්වල ඡත‍්‍රයක් තිබූ බවට හා ඉන් සමහරක් ගලින් කළ ඡත‍්‍රයන් වූ නිසාත් එම ගලින් නිමවූ යෂ්ටියක් මඟින් එම ඡත‍්‍ර උසුලා සිටියා විය හැකි බව පරණවිතානයන් අනුමාන කෙරේ. රුවන්වැලි සෑයෙහි ඡත‍්‍රයන් අලුත්වැඩියා කිරීම, රන් ආලේප කිරිම විවිධ රජවරුන් විසින් සිදු කරන ලදී.

අනුරාධපුරයේ හා ලංකාවේ අනෙක් ස්ථානවල පිහිටි ස්තූප මළුවල විශාල ගල් කණුවල ශේෂයන් හමු වේ. අභයගිරිය හා මිරිසවැටිය යන චෛත්‍යය ගර්භයන් තුළ පිහිටා තිබූ බවත්, චෛත්‍යයේ නටබුන් වූ කළ ඒවා සෑ මළුව මත ඇඳ වැටුණ බව සිතිය හැකි ය. මෙහි පිහිටීම පිළිබඳව නිශ්චිත තොරතුරු දැන ගැනීම අපහසුය. මන්ද ඒ පිළිබඳව කිසිදු සාධකයක් සොයා ගැනීමට නොහැකි බැවිනි. රුවන්වැලි සෑය මළුව මත කුඩා චෛත්‍යය දෙකක නටබුන් තිබූ බව ස්මිදර් මහතා වාර්තා කරයි. ඔහු ඒවා දකින විට ගඩොල් සුන්බුන් වලින් පිරී තිබිණි. එක් එක් ගොඩනැඟිල්ල මධ්‍යයේ කෙලින් අතට සිටුවන ලද රළු ගල් කණුව බැගින් වූ බව ඔහු විසින් සිය වාර්තාවල සඳහන් කරයි. මේ වන විට ඒවා මුළුමනින්ම විනාශ වී ගොස්ය. ඒ අනුව පුරාණයේ දී සිංහලයන් විසින් ගර්භය මධ්‍යයෙහි ගල් කණුවක් බහාලන ලද බව තහවුරුවේ. ඒ අනුව එම ගල් කණු ඡත‍්‍රවල යෂ්ටි නොවන බව පෙනේ. එසේම ඒවායේ මුදුනත වටකුරු වූ නිසා ඒ මත කිසිවක් දරා සිටීමට නොහැකිය. දිව්‍යාවදානයේ සඳහන් ස්තුප අංග අතර යූපය නමින් හැඳින්වෙන් ගල් කණුවක් පිළිබඳව සඳහන් වේ. ඒ යූපය නමින් හැඳින්වූ ගල් කණුව ගර්භ මධ්‍යයෙහි නිර්මාණය කළ ගල් කණුව යැයි සිතීම යුක්ති යුක්ත වේ. මුල් කාලීනව යූපය ලී වලින් සාදන ලද බැවින් ඒවා අතුරෙන් කිසිවක් ආරක්‍ෂා නොවීමට හේතු වී ඇත. රුවන්වැලි සෑයෙහි ද ලීයෙන් තනන ලද යූපයක් තිබුණා විය හැකි වුවත් ඒ පිළිබඳව කිසිවක් මහාවංසයේ සඳහන් මහා ථූපය ගොඩනැංවීමේ විස්තරයෙහි සඳහන් නොවේ.

ඡත‍්‍රයන් සාදන ලද්දේ කවර ද්‍රව්‍යයකින්දැයි වංස කතාවල පළවන්නේ කලාතුරකිනි. වටිනා ලෝහයෙන් තැනු බව සඳහන් වන්නේ එක් තැනක හෝ දෙ තැනක පමණි. එහෙත් බොහෝ ඡත‍්‍ර ලීයෙන් හා සමහරක් ගලින් ද නිමවා තිබෙන්නට ඇත. රුවන්වැලි සෑ මළුවේ වූ නටබුන් අතර තිබී ගලින් කළ ඡත‍්‍රවල අවශේෂ හමු විය. ඒවායෙහි ප‍්‍රමාණයන් ගත් විට මහා ථූපයෙහි විශාලත්වයටම අනුකූල නොවේ. කෙසේ වෙතත් ඡත‍්‍රයක් නිර්මාණය වූ බව මෙයින් පැහැදිලි වේ. පසු කාලය වන විට එක් ඡත‍්‍රයක් මත තවත් ඡත‍්‍රයක් සිටින සේ ඡත‍්‍රාවලියක් නිර්මාණය විය. මෙම ජත‍්‍රාවලිය පසු කලෙක කොත් කැරැල්ල ලෙස විකාශනය වේ. රුවන්වැලි සෑයේ හතරැස් කොටුවට පසුව ජත‍්‍ර කිහිපයකින් යුත් ජත‍්‍රවලියක් නිර්මාණය විය (පරණවිතාන, 1963, පිටු 26-32).

දේවතා කොටුව

සුරකෝෂ්ඨ යන නාමයෙන් දේවතා කොටුව හඳුන්වනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ ස්තූප වල ඡත‍්‍ර කරවීම 7 වන සියවසේ දී පමණ නතර විය. හතරැස් කොටුව මැද සිට ගඩොලින් කළ වෘත්තාකාර සිලින්ඩරයක් පැන නැගේ. එම සිලින්ඩරවල පාදම බොරුම්වලින් ද මතුපිට බිත්ති කුළුණුවලින් ද සමන්විත වේ. මෙම කුළුණු අතර නමස්කාර මුද්‍රාවෙන් සිටින දේවරූප ද වේ. එම රූපයන් නිසා මෙම සිලින්ඩරාකාර කොටස දේවතා කොටුව නමින් වර්තමානයේ ව්‍යවහාර වේ. දේවරූපවලට හා බිත්ති කුළුණුවලට ඉහළින් සිලින්ඩරයේ උඩ කොටස පිහිටයි. එය දත්තක්ෂේපණ ඵලකයකින් අලංකාර වේ. සිලින්ඩරය පැහැදිලි අබ්ජයකින් හා කතෝපයකින් ඒ මත පිහිටි කොත් කැරැල්ල සම්බන්ධ වන බව බෙල් මහතා සිය වාර්තාවල සඳහන් කරයි. පසු කාලීනව රජවරුන් විසින් රුවන්වැලි සෑයට ඉහත සඳහන් කළ ආකාරයේ දේවතා කොටවුක් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ගරා වැටී තිබුණු රුවන්වැලි සෑය නැවත ප‍්‍රතිසංස්කරණයේ දී එහි නිර්මාණය කළ දේවතා කොටුව වර්තමානයේ දක්නට ලැබෙන දේවතා කොටුව වේ (පරණවිතාන, 1963, පිටු 33-34 / වික‍්‍රමගමගේ, 1990, පිටු 54).

කොත් කැරැල්ල

චෛත්‍යය මුදුනෙහි සවිකරන ලද ඡත‍්‍රය වෙනුවට ඡත‍්‍ර කිහිපයක් සවි කිරීම නිසා එය ජත‍්‍රාවලියක් බවට පත් විය. එම ඡත‍්‍රාවලිය කොත් කැරැල්ලක් ලෙස විකාශනයට පත් වුයේ ක‍්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ දී ය. දේවතාකොටුව මත ගඩොලින් කළ කේතුකාකාර කොටස කොත් කැරැල්ල විය. කේතුව ක‍්‍රමයෙන් සිහින්වන මතු විට ඇලි සහිත වේ. රුවන්වැලි දාගැබේ දකුණු වාහල්කඩ තුළින් මෑතක දී සොයා ගනු ලැබූ දෙ වන හෝ තුන් වන සියවස්වලට අයත් විය හැකි ස්තූපයේ ආකෘතියෙන් නිම කළ රත‍්‍රං හා පළිඟු කරඬුවලින් එම කාලය වන විට රුවන්වැලි සෑයෙහි කේතුකාගාර කොත් කැරලි තිබූ බව හැෙඟ් (පරණවිතාන, 1963, පිටු 34-35).

කොත

කොත ථූපිකා ලෙස හඳුන්වනු ලැබේ. කොත් කැරැල්ල මුදුනේ කොතක් සවිකරන ලදී. 12 වන සියවසේ දී පළමු වැනි පරාක‍්‍රමබාහු රජු විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද රුවන්වැලි සෑයේ රන් ථූපිකාවක් සවිකරන ලද බව චූලවංසයේ සඳහන් වේ. වර්තමාන රුවන්වැලි සෑයෙහි කොත මුදුනෙහි පළිඟුවක් ද සවිකර ඇත. එය සිළුමිණ නමින් අද වර්තමානයේ හැඳින්වේ (වික‍්‍රමගමගේ, 1990, පිටු 55).

සිළුමිණ (අන්තර්ජාලයෙනි)

වජිර චුම්භට

වජිර චුම්භට නමින් පළිඟු වළල්ලක් මුදුනෙහි නිර්මාණය කරන ලදී. රුවන්වැලි සෑයහි ද මෙවැනි පළිඟුවක් පිහිටුවන ලදී. මෙමඟින් විදුලි කෙටීම් වැළැක්වීම සිදු වූ බව වංසත්ථප්පකාසිනීයේ සඳහන් වේ. මහාවංස ටීකාවට අනුව පෙනී යන්නේ පළිඟු වළල්ලක් පිහිටුවීමෙන් විදුලියක් කොටන විට එය මෙකී වළල්ලට වැදීමෙන් ස්වභාව ධර්මය මඟින් වුව ද එවැනි උවදුරකින් දාගැබේ මුදුනේ පිහිටි මැණික ආරක්‍ෂාවන බවයි (පරණවිතාන, 1963, පිටු 32).

වර්තමානය වන විට මෙකී සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ දාගැබ් වහන්සේ නමක් ලෙස රුවන්වැලි සෑය නිරීක්‍ෂණය කරන්නෙකුට ප‍්‍රත්‍යක්‍ෂ වේ. යථෝක්ත කරුණුවලට අනුව රුවන්වැලි මහා සෑය ස්ථිර අත්තිවාරමකින් යුක්තව, පේසා වළලු 3කින් ද, බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත ධාතු ගර්භයකින් ද, හිරු සඳු ලකුණ හා ගරාදි වැට සහිත හතරැස් කොටුවකින් ද, දේවතා කොටුවකින් ද, ඡත‍්‍රාවලිය සහිත කොත් කැරැල්ලෙන් හා කොතෙන් ද යන චෛත්‍යය අංග සහිත උසස් වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ වලින් හෙබි අපූර්ව නිර්මාණයක් ලෙස රුවන්වැලි සෑය හඳුනා ගත හැකිය.

රුවන්වැලි සෑය හා සාංචි ස්තුපය

රුවන්වැලි සෑය නිර්මාණය දෙස බලන විට ඉන්දියාවේ සාංචි හා භාරුත්හි ඇති ස්තූපයන්ට සමානත්වයක් දරන බව පැහැදිලිය. සාංචි ස්තුපය කැනීමේ කටයුතුවල යෙදුණු කනිංහැම් නමැති පුරාවිද්‍යාඥයා රුවන්වැලි සෑයේ ධාතු ගර්භය පිළිබඳව මහාවංසයේ එන විස්තරය බොහෝ දුරට සංචි ස්තුපයේ ධාතු ගර්භයේ නිර්මාණය මෙන්ම නිදන් කොට ඇති වස්තුන් සමඟ සැසදෙන බව පෙන්වා දෙයි. මහාවංසයේ සඳහන් වන රුවන්වැලි සෑය ඉදිකිරීම පිළිබඳ විස්තරය අතිශයෝතියක් නොවන බවට මෙය හොඳම නිදසුනකි. කනිංහැම් මේ පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.

“මහාවංසයේ දැක්වෙන මහා ථූප විස්තරය සාංචි ස්තුපයේ අද පවතින තත්ත්වය හා කෙතෙක් දුරට සැසඳේ ද යත් එය සාංචි ස්තුපයේම විස්තරයක් බව පෙනේ. අර්ධ කවාකාර හැඩය මුදුනේ ඇති හතරැුස් කොටුව හා ජත‍්‍රාභිජත‍්‍ර මෙන්ම සතර වාහල්කඩේ ඇති සූර්ය ලකුණ ද එසේමය….” (සුරවීර, 1959, පිටු 93)

චන්ද්‍රා වික‍්‍රමගමගේ මහතා පවසන්නේ මුල් රුවන්වැලි සෑය පේසා වළලු තුන, ගර්භය, හතරැස් කොටුව, ජත‍්‍රය යන අංගයන්ගෙන් යුක්ත වූ බවත්, ඉන්දියාවේ සාංචි ස්තුපය ද මෙම සැලැස්මට අනුව තනවන ලද්දක් බවත්ය (වික‍්‍රමගමගේ, 2001, පිටු 31).

දැනට ශේෂව ඇති නටබුන් හා ගල් කැටයම්වල නිරූපනයන් අනුව උතුරු ඉන්දියාවේ පැරණිම නිර්මාණය වන්නේ සාංචි ස්තුපයයි. එහි ස්වරූපය පිළිබඳව ජෝන් මාෂල් මහතා පෙන්වා දෙන්නේ මෙ ලෙසය.

“එය මුදුන් පැතැලි වූ මුළුමනින්ම වාගේ අර්ධ ගෝලාකාර වූ ගර්භයකින් යුක්ත වේ. පුරාතනයෙහි පැදකුණු මඟක් (ප‍්‍රදක්‍ෂණා පථ) මෙන් සැලකූ විශාල පේසාවකින් (මේධි) එම පාදය වට වී තිබේ. ප‍්‍රදක්‍ෂණා පථයට පිවිසීමට සඳහා පියගැට (සෝපාන) පේළි තුනක් විය….” (Marshell” ASIA Report for 1913 -16, P 2)

ස්තුපයට වටකොට ඇති විශාල ගරාදි වැටකින් (වේදිකා) ආවරණය වූ දෙවන ප‍්‍රදක්‍ෂණා පථයක් වේ. ගර්භයේ මුදනෙහි ගල් ගරාදි වැටකින් වටවූ පීඨයක් (හර්මිකා) පිහිටා තිබේ. මෙම පීඨය මත ශිලා ඡත‍්‍ර හෝ ඡත‍්‍රාවලිය දරා සිටි යෂ්ටිය පිහිටියේය. ගලින් නිමකළ බාහිර ගරාදි වැඩ පසු කාලයේ දී ස්තුපය අලංකාර කිරීම පිනිස ඉදි කරවන ලද දොරටු (තොරණ) සතරකින් යුක්ත වේ (පරණවිතාන, 1963, පිටු 11).

ඉහත විස්තරයන්ට අනුව මහාවංසයේ සඳහන් වන රුවන්වැලි සෑය ස්තුපයේ ලක්‍ෂණ බොහෝ දුරට සාංචි ස්තූපය හා සමාන වූ බව පෙනේ. ඒ අනුව ක‍්‍රිස්තු වර්ෂයට පෙර සහ ක‍්‍රිස්තු වර්ෂයේ මුල් සියවස තුළ දී ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වන ස්තූප හා ඉන්දියාවේ මුලාදර්ශයන් අතර බොහෝ සමානකම් තිබූ බවට පැහැදිලි වේ. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ රුවන්වැලි සෑය හා සාංචි ස්තූපයයි.

රුවන්වැලි සෑය නිර්මාණකරණයේ දී පේසා වළලූ තුනක් නිර්මාණය කළ ද සාංචි ස්තුපයේ දක්නට ලැබෙනුයේ එක් පේසාවක් පමණි. සාංචි ස්තූපයේ දක්නට ලැබෙනුයේ එක් පේසාවක් පමණි. සාංචි ස්තුපයේ මාලකය ඉදිකොට ඇත්තේ පොළොව මට්ටමේ සිට ගර්භය ගොඩනැඟීමෙන් පසුවය. එහෙත් රුවන්වැලි සෑයෙහි පළමුව පේසා වළලු තුන නිර්මාණය කොට ඉහළින්ම ඇති පේසාවෙන් ගර්භය ගොඩනැඟීම ආරම්භ කොට තිබේ. රුවන්වැලි සෑයෙහි පහළම පේසාවේ පිටවැස්මෙහි මුදුන වටේ ගරාදි වැට මෝස්තරය දක්නට ලැබේ. මුදුන් පේසාවේ පිට ගැටිය දිගේ බිත්ති තලයේ ඇත් හිස් නිමවා තිබේ. සාංචි ස්තුපයෙහි ද පේසාව මත අවුරා ගරාදි වැටක් වේ. සාංචි හා භාරුත් ගල් කැටයම්වල නිරූපණය කොට ඇති ස්තූපයන්හි ද ඒ ස්ථානයේම පිහිටා තිබූ ගරාදිවැටක් දැක්වේ. මෙම ගරාදි වැටවල් ලීයෙන් නිර්මාණය කරන්නට ඇතැයි බොහෝ දුරට සිතිය හැකිය. සාංචි ස්තුපයේ මෙන්ම රුවන්වැලි සෑයෙහි ද ගරාදි වැටවල් තුනකින් යුක්ත වේ. ගරාදි වැටකට අයත් විය හැකි ලී කණු මත ඇත් හිස් පිහිටුවා තිබූ බව ස්මිදර් මහතාගේ විස්තරයට අනුව දැක්වේ. රුවන්වැලි සෑයෙහි හා සාංචි මහා ස්තුපයෙහි ගරාද වැට දක්නට ලැබුණ ද රුවන්වැලි සෑයෙහි දක්නට දක්නට ලැබෙන ඇත් හිස් නිර්මාණය ඉන්දියාවේ සාංචි ස්තුපයේ හෝ වෙනත් කිසිදු පැරණි ස්තුපයක දක්නට නොමැති බව පෙනේ (පරණවිතාන, 1963, පිටු 10-15).

ධාතු නිධානය කිරීම සඳහා ගල් පුවරු වලින් සැකසූ කල් මඤ්ජුසාවක් රුවන්වැලි සෑයෙහි මෙන්ම සාංචි ස්තුපයෙහි ද ධාතු ගර්භය නිර්මාණයේ දී භාවිත කොට ඇත. රුවන්වැලි සෑයේ ධාතු ගර්භය ධුර්භ පාදයෙහි මුදුන් පේසාවේ මතුපිට මට්ටමේ පිහිටියේ ය. ශාරිපුත‍්‍ර ධාතු නිදන් කොට තිබූ සාංචියේ අංක 3 දරන ස්තුපයේ ධාතු ගර්භය ද එම පේසාව මට්ටමේ පිහිටි බව ජෝන් මාෂල් මහතා පවසයි. මෙම ස්තුපය මුදුනේ පිහිටි ධාතු තැන්පත් වී තිබුනේ යැයි සැලකෙන හතරැස් කොටුව තනන ලද්දේ රුවන්වැලි සෑයේ ධාතු ගර්භය මෙන් ගල් පෙට්ටියක ආකාරයෙනි. ගර්භය ගත් විට රුවන්වැලි සෑයෙහි හා සාංචි මහා ස්තුපයෙහි දක්නට ලැබෙන ආකෘතිය බොහෝ දුරට සමාන වේ. ඒ බුබ්බුලාකාර හැඩයයි. අර්ධ කවාකාරව නිර්මාණය වූ ගර්භයේ මුදුන තරමක් පැතලි ස්වභාවයට නිර්මාණය කරන ලදී. ඒ හතරැස් කොටුව නිර්මාණය සඳහා ඉඩ ලබාදීම පිනිසයි. රුවන්වැලි සෑයෙහි ගර්භය නිර්මාණය කිරීම සඳහා ගඩොල් භාවිත කළ බවට සාධක පවතී. ඉන්දියාවේ දී සොයාගෙන ඇති ස්තුපයන් ගඩොලින් පමණක් මුළුමනින්ම ඉදි නොවූ ඒවාය. ඉන්දියාවේ ඝණ්ඨාශාලා ස්ථානයේ පිහිටි ස්තුපය, මථුරාවෙහි ජෛන ස්තූපය, නාගර්ජුනකොණ්ඩ ස්තූපය ඊට කදිම නිදසුන් වේ. ඒවායෙහි ගර්භ බිත්තිය විවිධ කොටස් වලට බෙදා පසින් පුරවා තිබූ බවට කැනීම් මඟින් සාධක හමු වී තිබේ. නමුත් එවැනි ලක්‍ෂණයක් රුවන්වැලි සෑ ගර්භයේ දක්නට නොලැබේ. අනුරාධපුර දක්ඛිණ ස්තූපයේ ගර්භය කැනීමේ දී එහි ගර්භ මධ්‍යයෙහි පස්, කුඩා ගල් කැබලි හා ගඩොල් වල සාධක ලැබිණි. එනිසාවෙන් රුවන්වැලි සෑයෙහි ගර්භය ද ඒ හා සමාන ව නිර්මාණ වූ බව සිතිය හැකිය (පරණවිතාන, 1963, පිටු 20-21).

පුරාණ ලංකාවේ ස්තූපයන්ගේ ගර්භවල මෙන්ම පේසා වළලු හා උපරිභාගයේ ද හුණු බදාම ගල්වා සුදු හුණු ද ආලේප කළ බවට සාධක පවතී. මාලාදාම, ධජ, හිරිගල් හා අනෙකුත් සැසිලිවලින් ස්තූපයන් අලංකාර කළ බව කියවේ. ශ‍්‍රද්ධාවෙන් උමතු වූ එක් රජ කෙනෙකු විසින් අති විශාල මහා ථූපය මත සුවඳ මැටි තවරා ඒ මත පුෂ්පයන් හිඳුවීමෙන් මුළු දාගැබ මල් කන්දක් මෙන් දිස් වූ බව කියැ වේ. අමරාවතියේ සහ නාගර්ජුනීකොණ්ඩයේ ගල් කැටයම්වලින් නිරූපණය වන ස්තූපවල ගර්භයේ මැද කොටසහෙි හුණු බදාමයකින් නිමවන ලැදැයි සැලකිය හැකි මාලාදම් සැරසිල්ලක් දක්නට ලැබේ. එනිසා මහා ථූපයට කළ මාලා දම් ද ඇතැම් විට හුණු බදාමෙන් කරන්නට ඇතැයි සිතිය හැකි ය.

ලංකාවේ ස්තූපයන්ගේ ගර්භයට හුණු බදාමෙන් හා සායම් මඟින් කරන ලද සැරසිලි පිළිබඳව තොරතුරු අතුරුදහන් වුවත්, මහා ථූපයට එසේ යොදන ලද මෝස්තර 2ක් පිළිබඳව මහාවංසයේ එක් පාඨයකින් දැනගත හැකි ය. ඒ සද්ධාතිස්ස කුමරු මරණ මංචකයෙහි සිටි තම සොහොයුරු වූ දුටුගැමුණු රජුහට මහා ථුපය සම්පූර්ණ කළ විට කෙබඳු වී දැයි දක්වනු පිනිස එම ස්තුපය සුදු රෙදිවලින් වසා ඒ මත පූර්ණඝට (පුන්කලස්) හා පණවංගුලික සැරසිලි සිතුවම් ද සම්පූර්ණ කළ යුතුව තිබූ නිර්මාණ අංගයන් දැක්වෙන අනෙකුත් උපක‍්‍රමයන් ද යෙද වූ බව මහාවංසයේ සඳහන් වේ. නොයෙකුත් සැරසිලි අතර වූ ඉහත සඳහන් මෝස්තර දෙකින් පැරණි ලක්දිව ස්තූපයන් අලංකාර කිරිමේ චාරිත‍්‍රයක් ද වූ බව එම ප‍්‍රකාශයෙන් ගම්‍ය වේ. ඉන්දියාවේ හා ලංකාවේ බෞද්ධ කලාවේ බොහෝ සැරසිලි සඳහා බෙහෙවින් පුන්කළස් මෝස්තරය හා පණවංගුලික හෙවත් විහිදුණු අත්ලේ සංලක්‍ෂණය ද භාවිත වී තිබෙනු දක්නට ලැබේ. ඉන්දියාවේ අමරාවතී හා නාගර්ජුනකොණ්ඩය යන ස්ථානයන්හි සැරසූ කැටයම්වල මෙම මෝස්තර දක්නට ලැබේ (පරණවිතාන, 1963, පිටු 24).

රුවන්වැලි සෑයෙහි හා සාංචි ස්තූපයෙහි උපරිභාගයේ ද බොහෝ සෙයින් අපට සමානකම් දක්නට ලැබේ. ගර්භයට පසුව නිර්මාණය කෙරුණු හතරැස් කොටුවෙහි මුදුන් ගරාදි වැටක් දක්නට ලැබීම මෙම ස්තූප දෙකෙහිම දක්නට ලැබේ. සාංචි ස්තූපයෙහි හර්මිකාව අවුරා ඉදිකළ ගරාදි වැටකින් යුක්ත අතර පියන සහිත බර ඇති ගල් පෙට්ටියක හැඩයෙන් තනන ලද මෙම හර්මිකාවේ විශ්කම්භය අඩි 5 අඟල් 7කි. උස අඩි 1 අඟල් 8කිිි. මේ තුළ එක් කාලයක ධාතුන් තැන්පත් කොට තිබුණු බව ජෝන් මාෂල් තම Guid to Sanchi නම් ග‍්‍රන්ථයේ දී සඳහන් කරයි. මහා ථූපයෙහි දී ඒ ආකාරයෙන් හතරැස් කොටුව මත මුද්ධ වේදිකාවක් නිර්මාණය කොට තිබේ. මුදුන් ගරාද වැට ද ලීයෙන් නිර්මාණය කොට තිබේ. මුදුන් ගරාද වැට ද ලීයෙන් නිර්මාණය කළ බවට සාධක තිබේ. රුවන්වැලි සෑයෙහි මෙන්ම සාංචි මහා ස්තූපයෙහි ද ගර්භ මධ්‍යයේ ඉදිකළා යැයි හඳුනාගැනීමට තරම් යුපස්තම්භයක් පිළිබඳව සාක්‍ෂි හමු නොවීම ඇතැම්විට ලීයෙන් තැනීම නිසා එය විනාශ වීම හේතුපාදක විය හැකි ය. හතරැස් කොටුවට පසුව රුවන්වැලි සෑයේ මෙන්ම සාංචි ස්තුපයේ ද ඡත‍්‍රයක් දක්නට ලැබේ. පසු කාලීනව එය ඡත‍්‍රාවලියක් බවට පත් විය. එකී අංගය මෙම ස්තුපයන් දෙකෙහිම බෙහෙවින්ම සමාන බව කනිංහැම් මහතා පවසයි. රුවන්වැලි සෑයට පසු කාලීනව එක් දේවතා කොටුව හා කොත් කැරැල්ල සාංචි ස්තුපය සමඟ සැසදීමට නොහැකිවන්නේ වන්නේ සාංචි ස්තූපයේ උපරිම භාගය මුළුමනින්ම ආරක්‍ෂා වී නොමැති වීමයි. රුවන්වැලි සෑයෙහි හා ඉන්දියාවේ සාංචි මහා ස්තූපයෙහි බොහෝ අංගයන් සමාන බව පැහැදිල වේ (පරණවිතාන, 1963, පිටු 25-36).

රුවන්වැලි සෑය නිර්මාණකරණය සඳහා මෙලෙස ඉන්දියානු ආභාසය ලැබීම පිළිබඳව සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ මෙලෙසිනි.

“මෙම ස්තූපයේ ආකෘතිය ද, සාංචි හා භාරුත් ස්තූපවල ඇති ගල් කැටයම් ද පරීක්‍ෂාකර බැලීම අප හට ප‍්‍රයෝජනවත් වනුයේ විශේෂයෙන්ට ලක්දිවට පැමිණි ආදිම බෞද්ධ ධර්ම දුතයන් හා මෙම ඉන්දියානු ප‍්‍රදේශ අතර යම් කිසි සම්බන්ධයක් තිබූ බව පෙනෙන හෙයිනි. මහාවංසයෙහි දැක්වෙන කතා පුවත අනුව ලක්දිව ප‍්‍රථමයෙන්ම බුද්ධ ධර්මය දේශනා කළ මිහිඳු හිමියෝ වීදිශාවෙහි (සාංචි හා භාරුත් නෂ්ටාශේෂවලට නුදුරින් පිහිටි වර්තමාන බේස්නගර්) උපන් අයෙකි. හෙතෙම මෙම දිවයිනට පැමිණියේ ද මේ නගරයට නුදුරින් පිහිටි විහාරයක සිටය. සමහර විට එය පැරණි සාංචි විහාරය විය හැකි ය. එබැවින් ලංකාවේ ආදිතම ස්තූප ගොඩනැඟුවන් විසින් වීදිශා නගරය හා ඒ අවට පිහිටි ස්තුප වර්ගය අනුකරණය කළ බව හෝ අනුමාන වශයෙන් සිතා ගැනීම යුක්ති සහගත වේ” (පරණවිතාන, 1963, පිටු 10-11).

මේ අනුව දෙ රට පැවැති ආගමික පාර්ශවීය සම්බන්ධතා ඔස්සේ සහ ශ‍්‍රී ලාංකික බෞද්ධ භිෂුන්ගේ උපදේශන යටතේ ස්වර්ණපාලි චෛත්‍යයෙහි නිර්මාණකරණය තීරණය වූ බව පිළිගත හැකි ය.

යථෝක්ත සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඉන්දියානු ආභාසය සහිතව, එකල පැවති නව තාක්‍ෂණය උපයෝගී කොට ගෙන රුවන්වැලි සෑය නිර්මාණය කරන ලදී. ඒ සඳහා ශක්තිමත් ආර්ථිකයක්, පුහුණු නිර්මාණ ශිල්පීන් යන අංශ ද්වය ද මෙම දැවැන්ත නිර්මාණය සඳහා දායක විය. එපමණක් නොව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාගේ උපදේශකත්වය හා ශක්තිමත් බාවය මෙන්ම දුටුගැමුණු රජුගේ අතිමහත් කැපවීම හා නායකත්වය, ඉමහත් ධෛර්යය හා ශක්තිය ද එක් විය. පසු කාලීනව රාජනුග‍්‍රහ දැක් වූ රජවරුන්ගේ දායකත්වය සහ මුළු මහත් රටවාසීන්ගේ කැපවීම ද මෙම නිර්මාණයට දායක වූ බව නොරහසකි. රටේ ආර්ථික ශක්තිය, සාමය හා සමඟිය මඟින් උද්දීපනය වු සංස්කෘතික ප‍්‍රබෝධයේ ප‍්‍රතිඵලයක් වුයේ මෙම ස්වර්ණමාලි චෛත්‍යකරණයයි. එම නිර්මාණකරණය මනා සංවිධානාත්මක අයුරින්, නිවැරදි වාස්තු ඥානය හරහා බිහි වූ බව පෙනේ. රුවන්වැලි සෑය සියලු චෛත්‍යාංගයන්ගෙන් යුතුව ශ‍්‍රී ලංකාව තුළ බිහි වූ වැදගත්ම වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස හඳුනා ගැනීම යුක්ති යුක්ත වේ.

සාංචි මහා සෑය (https://www.britannica.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ‌ලේඛන නාමාවලිය

  • කරුණානන්ද, උක්කුබණ්ඩා (1994), අනුරාධපුර අටමස්ථාන, කඩවත.
  • දීපවංසය (1956), කිරිඇල්ලේ ඤාණවිමල හිමි (සංස්.), කොළඹ.
  • ධාතුවංසය (1924), දඹගස්ආරේ ශ‍්‍රී මේධාලංකාර හිමි (සංස්.), කොළඹ.
  • නිකලස් සී.ඩබ්ලිව්, (1979), සෝමපාල ජයවර්ධන (පරි.), පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන, කොළඹ.
  • පරණවිතාන, සෙනරත් (1963), ලංකාවේ ස්තූපය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • පරණවිතාන, සෙනරත් (1972), පුරාවිදු පර්යේෂණ, විසිදුනු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව.
  • පූජාවලිය (1957), කිරිඇල්ලේ ඤාණවිමල හිමි (සංස්.), කොළඹ
  • මහාවංසය (ප‍්‍රථම භාගය), හික්කඩුවේ සුමංගල හිමි හා බටුවන්තුඩාවේ දේවරක්ෂිත (පරි.), මහගොඩ ඥානීස්වර හිමි (සංස්), (1996), ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • මහාවංසය (සිංහල), නන්දදේව විජේසේකර (1986), බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
  • ලංකා ඉතිහාසය -1 කාණ්ඩය, (1974), සෙනරත් පරණවිතාන (සංස්.), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, කැලණිය.
  • වනරතන හිමි, කඹුරුපිටියේ (1988), ස්තූප පුරාණය-බෞද්ධ ස්තූප නිර්මාණය හා විකාශනය, කොළඹ.
  • වංසත්ථප්පකසිනී (1994), අකුරටියේ අමරවංශ හිමි, දිසානායක හේමචන්ද්‍ර (සංස්.), කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.
  • වික‍්‍රමගමගේ, චන්ද්‍රා (1990), ස්තූප, මහරගම.
  • සුරවීර ඒ.වී. (1959), අනුරාධපුර සංස්කෘතිය, මහරගම.
  • Bell H.C.P, (1904), Archaeological Survey of Ceylon, Annual Report for 1894, Colombo.
  • Coomaraswamy, Ananda K. (1927), History of Indian and Indonesian Art, London.
  • Fernando, W.B. Marcus, C.E. Godakumbure, (1965), Ancient City of Anuradhapura, Colombo
  • Marshall, John (1926), Archaeological Survey of India, Annual Report for 1913-16, Calcutta
  • Marshall, John (1918), A Guide to sanchi, Calcutta Superintendent Government Printing, India

[මෙම ලිපියේ දැක්වෙන රුවන්වැලි සෑයේ ඡායාරූපය https://en.wikipedia.org/wiki/Ruwanwelisaya අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.14 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
----------------------------------------------------------------------------------

අනුරාධපුර, මිරිසවැටිය ස්තූපයේ සළපතල මළුවේ ගල් පුවරු මත සටහන් කළ සංකේත

බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

Abstract

බැරගම සද්ධානන්ද හිමි

There can be found many evidences on the symbols that used by ancient Sri Lankan people for single or manifold interpretation in order to achieve various needs. It is a specific feature that many of these were found from the religious premises except the symbols that represent  Pre historical Period. And also it can be seen a big amount of symbols that are not considered as the letters of the Stupa stone compounds in the places like Thuparamaya, Ruwanweliseya, Mirisawetiya, Abhayagiriya, Jetavanaya and Lankarmaya in Anuradhapura. However, less attention has been paid by scholars in this regard. As a result, those who are not in expert of the field, have even given misinterpretations for those symbols. Therefore, it is expected to study on graffiti of the stone slabs found in the Mirisawetiya Stupa stone compound in Anuradhapura which is historically and archaeologically important. On the other hand, it is an attempt to understand meanings of the symbols by considering varieties of them. Basically the attention is focused on the historical and archaeological importance of the Mirisawatiye stupa. Then it is expected to draw attention on single and manifold symbols and identified and unidentified graffiti. Finally, this study helps to reveal various information of ancient human society. 

Keywords: Anuradhapura, Graffiti, Mirisawetiya, Stone Compound, Symbols

හැඳින්වීම

මිනිස් ඉතිහාසයේ ආදිතම යුගයේ සිට මානවයා ඔවුනොවුන් අතර සන්නිවේදන කිරීම සඳහා නොයෙකුත් සන්නිවේදන ක්‍රමවේද භාවිත කළ බවට තොරතුරු අනාවරණය වේ. කණ්ඩායම් වශයෙන් හෝ ගෝත්‍ර වශයෙන් ජීවත් වූ මානවයා අවාචික ව යමක් හඟවනු පිනිස විවිධ සංකේත යොදා ගන්නා ලදහ. වනාන්තරයේ මඟ දැනගැනීමට කොළඅතු කඩා එල්ලීම, ගසක පොතු ගැලවීම ආදිය ප්‍රාථමික සන්නිවේදන ක්‍රම විය. දළ වශයෙන් අදින් වසර 30,000කට පමණ පෙර මානවයෝ සිතුවම් මාර්ගයෙන් සන්නිවේදනය කළ බව ප්‍රංශයේ ඇල්ටමීරා, ලැස්කෝස් ආදී ගුහාවල මෙන් ම ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් අධ්‍යයනය කළ ප්‍රාග් ඓතිහාසික පර්යේෂකයින් පෙන්වා දෙති. එසේ ම ක්‍රිස්තු පූර්ව 5,000 හෝ ඒ ආසන්න පසු කාලය වන විට මෙම චිත්‍ර සංකේත නිශ්චිත අදහසක් සන්නිවේදනය කරන අක්ෂර මාලාවක් බවට පත් වූ බව ඊජිප්තුව, සුමේරියාව, මෙසපොතේමියාව ආදී පැරණි ශිෂ්ටාචාරවලින් හමුවන රූපාක්‍ෂර මගින් හෙළි වේ. ක්‍රිස්තු පූර්ව 4,000 දී පමණ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ භාවිත වූ රූප සංකේත මේ අතර විශේෂ වේ. එතැන් සිට සීග්‍රයෙන් යුරෝපයේ මෙන් ම ආසියාතික රටවල දෛනික ජීවන කටයුතු පහසු කරගැනීමට මෙන්ම දේශපාලනික, ආර්ථික, ආගමික තොරතුරු ලියා තැබීමට අක්ෂර මාලාවන් සංර්ධනය කොට ගත්හ. සරළ අර්ථ නිරූපණයේ සිට සංකීර්ණ අර්ථ නිරූපණය දක්වා පරාසයක විහිද යන ඇතැම් සංකේත මානව සමාජය විසින් භාවිත කරමින් පවතී. උදාහරණ ලෙස වනයේ සැරිසරන මිනිසුන් මඟ සළකුණු වශයෙන් තවමත් වන අතු කඩා එල්ලීම සිදුකරනු ලබයි. ඒ හැර දැව, ගල්, මැටි, ආදී විවිධ නිර්මාණකරුවන් නිර්මාණ කාර්යය පහසුකර ගැනීම සඳහා විවිධ වඩු සළකුණු තබනු ලැබේ. විවිධ ජාතීන් ආගමික හා සංස්කෘතික කටයුතුවල දී අභිචාරාත්මක සංකල්පයෙන් විවිධ සංකේත රූප තනිව හෝ කීපය බැගින් යොදනු ලැබේ. මේ හැර වර්තමාන දියුණු ලෝකයෙහි සෑම රටක ම පාහේ විවිධ ආයතන තම තමන්ගේ ආයතනවලට අනන්‍ය වූ සංකේතයක් (symbol) යොදාගනු ලබන්නේ ද සංකේතයකින් නිරූපණය කළ හැකි බහු අර්ථයන් පිළිබඳව සළකාගෙන බව පෙනේ.

පර්යේෂණ ගැටලුව

රජරට ශිෂ්ටාචාරය හා සම්බන්ධ සංස්කෘතික සන්දර්භය අධ්‍යයනය කිරීමේ දී අනුරාධපුර, මිරිසවැටිය සළපතල මළුවේ නිර්මිත සටහන් අතර ඇති කුරුටු සටහන් සංකේත සම කාලීන අධ්‍යයනයන් සඳහා ආදේශ කරගත හැකි ද යන්න විමසීම.

පර්යේෂණ අරමුණ

මිරිසවැටිය ස්තූප සළපතල මළුවේ නිර්මිත කුරුටු සටහන් සංකේත මඟින් හෙළිවන තත්කාලීන සමාජයේ පැවති දේශපාලනික, ආගමික, සාමාජික හා සංස්කෘතික සන්දර්භය අධ්‍යයනය කරමින් රජරට ශිෂ්ටාචාරය හා බැඳුණු සංස්කෘතික පසුබිම ගොඩනැඟීම.

පර්යේෂණ ක්‍රමවේදය

සමාජවිද්‍යා අධ්‍යයනවල දී දත්ත රැස්කිරීම සඳහා යොදාගනු ලබන ගුණාත්මක හා සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීමේ විධික්‍රම යොදා ගන්නා ලදි. මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ නිර්මිත කුරුටු සටහන් සංකේත හැකිතාක් නිවැරදිව වාර්තා කිරීමේ අපේක්‍ෂාවෙන් ලිඛිත වාර්තාකරණය, සැලසුම් හා ඡායාරූපකරණය භාවිත යොදා ගැනිණි. දාගැබ් මළුවේ උතුරු බැම්මේ සිට මීටර් 10×10 ප්‍රමාණයේ කොටුවලට සමස්ත මළුව බෙදා ගැනීමෙන් අනතුරුව මිරිසවැටිය ස්තූප හඳුනාගැනීම සඳහා පොදුවේ ඉංග්‍රීසි M අක්ෂරය ද ප්‍රධාන කොටුවේ අංකය දෙ වැනිව ද කොටුව තුළ දක්නට ලැබෙන සංකේත ප්‍රමාණය අනුව ඒවාට අනු අංක ද ලබා දෙන ලදී. සියලු ම සංකේතවල ගෝලීය ස්ථානගත පිහිටීම (GPS) අගය හා සංකේතවල ස්පර්ශ ලාංඡන (Estam page) ලබා ගැනිණි. ඊට අමතර ව දළ රේඛා සටහනක් මෙන් ම ඡායාරූපයක් ලබා ගෙන විධිමත් ක්‍රමවේදයකට අනුව දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ලදී.

ප්‍රතිඵල හා සාකච්ඡාව

ඵෙතිහාසික අගය

මිරිසවැටිය දාගැබ අනුරාධපුර පැරණි නගරයට නිරිත දිගින් හා තිසා වැවට උතුරින් (උත්තර අක්‍ෂාංශ 08020″42’3 හා නැඟෙනහිර දේශාංශ 080023Z20’0) පිහිටා ඇත. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) විසින් ගොඩනඟන ලද ප්‍රථම දාගැබ වන්නේ මිරිසවැටිය යි. එතුමා එළාර රජු සමඟ කරන ලද යුධ ජයග්‍රහණයෙන් අනතුරුව හා අභිෂේකයෙන් සතියක් ඉක්ම ගිය පසු තිසා වැවේ ජල ක්‍රීඩාවට ගිය බැව් මහාවංසයේ සඳහන් වේ. රජුගේ සියලු පරිභෝග භාණ්ඩ ද සිය ගණන් පඬුරු ද ධාතු සහිත කුන්තායුධය ද මිරිසවැටි දාගැබ පිහිට වූ තැන්හි තබා ජල ක්‍රීඩාවේ යෙදුණු අතර එය හමාර කිරීමෙන් පසු කුන්තායුධය වැඩමවන ලෙස රජු පිරිසට අණ කළත් එය එතැනින් සොලවනු නොහැකි විය. මෙම අසිරිය දුටු රජතුමා ධාතු සහිත කුන්තා යුධය වටකොට දාගැබක් කරවා වසර තුනක් ඇතුළත එහි හාත්පස ආවාස ගෘහ තනවා භික්‍ෂූන්ට පූජා කළේය.1 මෙම පූජා කිරීමේ අවස්ථාවට භික්‍ෂූන් ලක්‍ෂයක් හා භික්‍ෂුණීන් වහන්සේලා අනූදහසක් සහභාගී වූ අතර උභතෝ සංඝයා මධ්‍යයේ දී රජතුමා සංඝයා සිහි නොකොට මිරිස්වැටියක් (මිරිස් මාළුවක්) අනුභව කළ බවත්, එම සිත් තැවුලින් අත්මිදීමක් ලෙස මිරිසවැටි වෙහෙර ඉදිකරන බවත් එය පිළිගන්නා ලෙසත් ආරාධනා කොට පැන් වඩා සංඝයාට පවරා ඇත.2 දාගැබ ඉදිකිරීමට හා පිංකම් කටයුතු වෙනුවෙන් එතුමා 19 කෝටියක් මුදල් වැය කළ බව මහාවංසය වාර්තා කරයි.3 ථූපවංසය ද මෙම කරුණ මීට සමානව ම ඉදිරිපත් කරයි.4 කඹුරුපිටියේ වනරතන හිමි මිරිසවැටි විහාර පූජාව තිස්සමහාරාමයේ සිටම ජය කොන්තය සමඟ යුධ පෙරමුණෙ හි වැඩම කළ පන්සියයක් වූ භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් සිදු කරන්නට ඇති බව සඳහන් කරයි. උන්වහන්සේගේ මෙම තර්කය සාධාරණ විය හැකි ය. තමන්ට ආශීර්වාදය උදෙසා භික්‍ෂූන්වහන්සේලා 500 නමක් තිස්සමහරාමයෙන් වැඩමවා ගත් බව මහාවංසයේ වැඩිදුරටත් සඳහන් වේ. 5

මිරිසවැටිය දාගැබ හා සම්බන්‍ධයෙන් නැවතත් අපට තොරතුරු ලැබෙන්නේ ගජබා රාජ්‍ය (ක්‍රි.ව.112-134) සමයේ දී ය. එතුමා මිරිසවැටි දාගැබ සඳහා ගඩොලින් ආරක්ෂිත කඤ්චුකයක් කළ බැව් මහාවංසයේ සඳහන් වේ.දුටුගැමුණු රජතුමා විසින් කළ දාගැබ මේ වන විට වසර 200ක් පමණ ඉක්මවා තිබූ හෙයින් දාගැබ සඳහා සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් කිරීමේ අවශ්‍යතාව පැනනැඟී තිබෙන්නට ඇත. වෝහාරිකතිස්ස (ක්‍රි.ව. 214-236) රාජ්‍ය සමයේ දී එතුමා මිරිසවැටි දාගැබෙහි ඡත්‍රය හා මිරිසවැටි විහාරයෙහි පවුරක් කළ බව ද මහාවංසයේ සඳහන් වුවත් එහි දැක්වෙන සෙසු කරුණු හා සසඳන කළ එම පවුර බැඳවීම දාගැබ වටා කරන ලද්දක් නොව ආරාම භූමියෙහි කරන ලද සීමා පවුරක් බව පැහැදිලි වේ.7

දැනට දාගැබ වටා ඇති සීමා පවුර ක්‍රිස්තු වර්ෂ 9-10 සියවස් අතර දී ස්ථීරවම සිදු වූ බව පවුරේ ඇති ශිලා ලේඛනවලින් පැහැදිලි වේ. ඇතැම් විට මෙම සෙල්ලිපි එහි පිහිටුවන්නට ඇත්තේ පස් වැනි කාෂ්‍යප (ක්‍රි.ව. 914-923) සමයේ දී විය හැකි ය. මහාවංසයේ සඳහන් වන පරිදි එතුමා මිරිසවැටියෙහි විශාල ප්‍රතිසංස්කරණයක් සිදු කොට ඇත. දාගැබ ඇතුළු ව ආවාසයන් නැවත අලංකාර ලෙස කරවා ආරාමයට අයගම් දී අලංකාර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වහන්සේලා ද පිරිවරමින් අභිධර්මය දේශනා කළ බව සඳහන් ය.8

ද්‍රවිඩ ආක්‍රමණයත් සමග විනාශ වී ගිය අනුරාධපුර නගරය හා එහි වූ දාගැබ් සියල්ල ආක්‍රමණිකයන් කොල්ලකා ගත් බවට සාධක වේ.9 විනාශ කිරීමෙන් පසු වසර 150කට නොඅඩු කාලයක් වනගතව පැවති අනුරාධපුරයේ බෞද්ධ ආගමික ස්ථාන නැවත විශාල ප්‍රතිසංස්කරණයකට යටත් වන්නේ පළමු වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) රාජ්‍ය සමයේ දී ය. මහාවංසය සඳහන් කරන පරිදි අසූ රියන් උස් වූ මිරිසවැටි සෑය අනුරපුරයේ අනෙකුත් දාගැබ් මෙන් මහ ගස්වලින් ගහනව වලසුන්ගේ හා දිවියන්ගේ වාසස්ථාන බවට පත් ව තිබිය දී රජතුමා විසින් වනය සිඳුවා මනාකොට ගඩොලින් බඳවා සුණු පිරියම් කොට මළුව ද පිරිසිදු කොට ඇත.10 නිශ්ශංකමල්ල රජතුමා ද මිරිසවැටිය හා තවත් විහාර කරවීමට ලෝකේඅරක්මේනාවන්ට පැවරූ බව රුවන්වැලි සෑ මළුවෙහි ඇති නිශ්ශංකමල්ල රජුට අයත් ශිලාලේඛනයක සඳහන් ය. දැනට පේසා වළලු 3කින් සමන්විත දාගැබෙහි පාදයේ විෂ්කම්භය මීටර් 42 සෙන්ටිමීටර් 30ක් වන අතර දාගැබේ උස මීටර් 57 සෙන්ටිමීටර් 60 කි. මෑතක් වන තෙක් නටබුන්ව පැවති මෙම දාගැබ ප්‍රතිසංස්කරණයෙන් පසු සුණු පිරියම් කොට 1993 ජුනි මස 4 වැනිදා කොත නිරාවරණය කරන්නට යෙදුණි.

විමර්ශනය

මිරිසවැටි දාගැබ වැලි මළුවකින් හා සළපතල මළුවකින් සමන්විත වන අතර සළපතල මළුව සීමා පවුරකින් වටව පවතී. පවුරෙන් වට වූ සලපතල මළුවේ දිග හා පළල මීටර් 84ක් බැගින් වේ. දාගැබ වෙත ප්‍රවේශ වීම සඳහා සිව් දිශාවෙන් ම දොරටු සතරකි. මළුවේ අතුරා ඇති ගල් පුවරුවලින් වැඩි කොටසක් පැරණි ඒවා වන අතර හිස්තැන් පිරවීම සඳහා මෑත කාලයේ දී සකස් කළ ගල් පුවරු අතුරා ඇත. 2011 වර්ෂයේ දී මළුවේ පිළිසකර වැඩ අවසන් කළ බව මළුවේ අතුරා ඇති ගල් පුවරුවක සටහන් කොට ඇත. ප්‍රාකාර බැම්ම ද ඇතුළුව මිරිසවැටි සලපතල මළුවෙන් සංකේත 112ක් හමු වී ඇත.

කුරුටු සටහන් වාර්තා වූ ස්ථාන දැක්වෙන සිතියම

සංකේත නිර්මිත ශිලා පුවරු පිළිබඳව අවධානය යොමුකිරීමේ දී උන්නතව කළ සටහන් මෙන්ම ගල්කටුවකින් යටට හාරා කළ සටහන් දැකගත හැකි ය. පුවරුවල සටහන් යෙදීමේ දී ඇතැම් ඒවායෙහි තනි සංකේත වශයෙන් මෙන්ම ඇතැම් පුවරුවල බහුසංකේත යොදා ඇති බව ද හඳුනාගත හැකි ය. හඳුනාගත හැකි සංකේත අතර ස්වස්තිකය, මත්ස්‍ය සංකේතය, සිරිවසය මෙන්ම පෙති දෙක හෝ තුන නිරූපිත නැට්ට සහිත කුඩා නෙළුම් පොහොට්ටුව හා පිපුණු නෙළුම දක්වා තිබීම විශේෂ වේ. මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ දක්නට ලැබෙන සංකේත අතර වැඩි වශයෙන් අපට හමුවන සංකේතයක් ලෙස ස්වස්තික සංකේතය දැක්විය හැකිය. කේවල මෙන්ම බහු සංකේත වශයෙන් දැකගත හැකි මෙම සංකේතය ගණන එකොළහ කි. සවස්තික සළකුණ සළපතල මළුවේ ශිලා පුවරුවල සටහන් කිරීමේ දී නිශ්චිත ක්‍රමවේදයක් භාවිත කළ බවක් නොපෙනේ. ඇතැම් සංකේත නිශ්චිත දිග හා පළලකින් යුක්ත (සමාන පළලකින් හා දිග කින් යුක්ත) හතරැස් හැඩයක් (චතුරස්‍රාකාර හැඩයක්) ලැබෙන සේ කලාත්මකව නිර්මාණය කර ඇති අතර ඇතැම් ඒවා නිශ්චිත හැඩයකින් තොරව අවිධිමත්ව දක්වා ඇත. ඇතැම් ඒවායේ කෙළවර වාමාවෘතව හා ඇතැම් ඒවා දක්ෂිණාවෘතව සටහන්කර ඇත. බොහෝ විට නිර්මිත පාෂාණ වර්ගය හා නිර්මාපක කුසලතාව හේතු වන්නට ඇති බව ද සිතිය හැකි ය.

සංස්කෘත භාෂාවේ ‘ස්වස්ති’ යන්න වාසනාව යනුවෙන් අර්ථ දැක්වේ. වාසනාව, ජයග්‍රහණය, සෞභාග්‍යය හා සුභසිද්ධිය යන අර්ථය ‘ස්වස්තික’ යන වචනය හා බැඳි පවතින බව ගම්‍ය වේ. ඒ අනුව ස්වස්තිකය මංගල හෙවත් ශුභ සංඛේතයක් ලෙස හඳුනාගත හැකි ය. ස්වස්තික සංකේතය භාවිත කිරීමේ පුරාණය පිළිබඳ සාධක භාරත දේශයෙන් වාර්තා වේ. ඉන්දු නිම්නයෙන් හමු වූ ටෙරාකොටා මුද්‍රාවල ස්වස්තිකයට සමාන හැඩයකින් යුක්ත සංකේත වාර්තා වේ. එය ගණනින් 16කි. දැනට සොයාගෙන ඇති සාධකවලට අනුව ස්වස්තික සංකේතය භාවිත කළ පැරණිතම ශිෂ්ටාචාරය ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බව පිළිගනී. ක්‍රිස්තු පූර්ව 1,300 දී පැරණි ට්‍රෝයි නගරයේ හිසාර්ලික් කඳු මුදුනේ මෙම සංකේතය සටහන් කර ඇති බව කියැ වේ. ට්‍රෝයි නගරයේ සිට ස්වස්තික සංකේත භාවිතය බටහිරට හා නැඟෙනහිරට යාමේ ප්‍රතිඵලයක් ලෙස එම රටවල භාවිත කාසි හා මැටි පුවරුවලට එක් වූ බව සඳහන් වේ. ඊට අමතරව ග්‍රීසියේ සිට සුළු ආසියාවෙන් බටහිරටත්, දකුණු ආසියාව ඔස්සේ රෝමය, ඉරාණය, ඉන්දියාව, ටිබැටය හා ජපානය තෙක් මෙම ස්වස්තික පිළිබඳ විශ්වාසය ව්‍යාප්ත වූ බව පිළිගනී.11

බෞද්ධ කලා නිර්මාණවල පැරණිතම ස්වස්තික සංකේතය වාර්තා වන්නේ ද භාරත දේශයෙනි. ඉන්දියාවේ අමරාවතියෙන් සොයා ගන්නා ලද පාද ලාංඡනයක ස්වස්තික සංකේතය පැහැදිලිව දක්වා ඇත. ඉන්දීය හා ශ්‍රී ලාංකේය පැරණි කාසිවල ද ස්වස්තික සංකේතය දක්වා ඇත. මැක්ස් මුලර් චලනය වන සූර්යා ස්වස්තිකයෙන් නිරූපණය වන බව කියැ වේ. ඔහුගේ අදහසට අනුව ආලෝකය, ජීවය, සෞඛ්‍යය හා ධනය අර්ථවත් කිරීම සඳහා ස්වස්තිකය යොදා ගනී. මෙම අදහසට විරුද්ධ අදහසක් දක්වන ඇලෙක්සැන්ඩර් කනිංහැම් ස්වස්තික සංකේතය සමඟ සූර්යාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව දක්වයි. ඔහුගේ අදහසට අනුව ක්‍රිස්තු පූර්ව 604 සිට 523 කාලය තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් නිර්මාණය වූවකි. 12

හෙන්රි පාකර් ස්වස්තික සංකේතයේ උපත කතිර සංකේතය බව දක්වයි. කතිර සංකේතය ඈත අතීතයේ සිටම මංගල සංකේතයක් මෙන්ම දෛනික ආරක්ෂාව සළසා දෙන සංකේතයක් බව පිළිගනී. ක්‍රිස්තු පූර්ව 5,000 දී පමණ ආකේසියානුවන් තමන්ගේ සුසානවල අද්භූත බලවේග වලින් ආරක්ෂාව පිනිස කතිර තැන්පත් කොට ඇත. තව ද ඉන්දියාවේ සාංචි ස්තූපයේ අවට මෙන්ම ශ්‍රී ලංකාවේ අනුරාධපුර ස්තූපවල ධාතු ගර්භයේ ආරක්ෂාව උදෙසා කතිර සංකේතයට සමාන සංකේතයක් තැන්පත් කොට තිබූ බව වාර්තා වේ. ඒ අනුව, පාකර්ගේ අදහස වන්නේ මුල් කාලීනව හතරැස් කොටුවකින් ආරක්ෂා වූ කතිර සංකේතය පසු කාලීනව ස්වස්තික දක්වා වර්ධනට වන්නට ඇති බවයි.13

ශ්‍රී ලාංකේය බෞද්ධයන් සෞභාග්‍යය, සශ්‍රීකත්වය මෙන්ම ආරක්ෂාව පිනිස යොදාගත් මෙම සංකේතය පිළිබඳ ප්‍රමාණවත් සාධක මූල බ්‍රාහ්මී සෙල්ලිපිවල අපට හමු වේ. මිහින්තලය අංක 34 දරන ලිපියෙහි දෙ වන පෙළෙහි කෙළවර ස්වස්තික සංකේතය දක්නට ලැබේ. මෙම සංකේතය පිළිබඳ අදහස් දක්වන සෙනරත් පරණවිතාන ‘තිස’ යන පෞද්ගලික නාමාර්ථය හැඟවීම පිනිස යොදන ලද්දක් බව දක්වයි.14 ඔහුගේ අදහසට අනුව සෙල්ලිපිවල ස්වස්තික සංකේතය යොදා ඇත්තේ පෞද්ගලිකත්වය වර්ණනානුවයෙන් හැඟවීම සඳහා ය. දඹුල්ල ලෙන් ලිපියක ද ස්වස්තිකය ගරාදි වැටක් සමඟ දක්වා තිබීම ඉහත අදහස වඩාත් තීව්‍ර කරයි. මේ හැර වේවැල්තැන්න, පෙරියපුලියන්කුලම, මෝලාහිටියවේලේගල හා ඇත්වෙහෙර ලිපිවල කේවල ස්වස්තික සංකේතය මෙන්ම බහු සංකේත සමඟ ස්වස්තිකය දැක්වේ. රිටිගල වේවැල්තැන්න ලිපියෙහි චෛත්‍යය, චක්‍රය හා ත්‍රිරත්නය ආදී බෞද්ධ සංකේත සමඟ ස්වස්තිකය දක්වා ඇත. පෙරියපුලියන්කුලම ලිපියෙහි දී සංකේත කිහිපයක් සමඟ ස්වස්තිකය දැක්වේ. මෙම ලෙන් ලිපියෙන් දැක්වෙන ස්වස්තිකය මගින් ද තිස යන අදහස ධ්වනිත කරන බව දක්වයි. මෝලාහිටිය වේලේගල ලිපියෙහි ස්වස්තික සංකේතය ලිපියෙහි ආරම්භයේ මෙන්ම දෙ වන පෙළෙහි ආරම්භයෙහි දක්වා තිබුණ ද මිහින්තලය ඇත් වෙහෙර ලිපියෙහි ස්වස්තිකය දක්වා ඇත්තේ ලිපියෙහි අවසාන කෙළවරහි ය. ඊට සමාන ලිපියක් ජේතවනාරාම පරිශ්‍රයෙන් ද සොයාගෙන ඇත. ඇතැම් ලිපිවල සමාප්තිය දැක්වීම පිනිස විරාම සලකුණක් ලෙස ස්වස්තිකය දක්වන්නට ඇති බව සිතිය හැකිය.15 ඒ අනුව, අපට පැහැදිලි වන්නේ ඉපැරණි සමාජ ව්‍යූහය තුළ භාවිත කළ ස්වස්තික සළකුණ කුමන අර්ථයක් හැඟවීමේ අර්ථයෙන් යොදන ලද්දක් ද යන්න පිළිබඳ නිශ්චිත එකඟතාවක් නොමැති බවයි. බොහෝ විට සෞභාග්‍යය, ආරක්ෂාව සහිත මංගල සංකේතයක් වශයෙන් මෙන්ම ආගමික සලකුණක් ලෙස සළකා ඓතිහාසික ස්මාරක සැකසීමේ දී මෙම සංකේතය යොදාගන්නට වැඩි අවස්ථාවක් පවතින බව කිව යුතු ය. බොහෝ දෙනාගේ පිළිගැනීම ස්වස්තික සලකුණ ශුභ හෝ මංගල සංකේතයක් ලෙස ය.

මිරිසවැටිය ස්ථූප සලපතල මළුවේ බහුලව දක්නට ලැබෙන සංකේතයක් ලෙස මත්ස්‍ය සංකේතය හඳුනාගත හැකි ය. එම සංකේතය මළුවෙහි ශිලා පුවරු 13ක සංකේතය වශයෙන් දැක්වේ. මෙම සංකේතය දැක්වීමේ දී වරල් සහිත තනි මත්ස්‍යයා මෙන්ම මුඛයට මුඛය නමාගෙන සිටින මත්ස්‍යයන් දෙදෙනෙක්, තුන් දෙනෙක් හෝ සිව් දෙනෙකු නිරූපණය කොට ඇත. මෙම සංකේතය නිරූපණය කිරීමේ දී තාත්වික ස්වරූපය එක් කිරීම සඳහා මත්ස්‍යයාගේ ඇස්, වරල් හා වල්ගය මනාව දක්වා තිබීම විශේෂ ලක්‍ෂණයකි. ඇතැම් පුවරුවල මත්ස්‍ය සංකේතය ඇම සමඟ දක්වා ඇති අතර ඇතැම් පුවරුවල බහු සංකේත සමඟ යෙදූ අවස්ථා ද නැත්තේ ද නොවේ. මෙම ශිලාපුවරු වලට අමතරව මත්ස්‍ය සංකේතය බහුල වශයෙන් ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සෙල්ලිපිවල දැකගත හැකි ය. ඊට අමතරව ලෝකයේ විවිධ රටවල බහුවිධ අර්ථයෙන් මත්ස්‍ය සංකේතය යොදාගෙන ඇති බව ද කිව යුතු ය.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික කටයුතු සඳහා අවස්ථා කිහිපයක දී මත්ස්‍ය සංකේතය යොදාගෙන ඇති බව වාර්තා වේ. පසු කාලීනව ඉන්දීය සමාජය තුළ මත්ස්‍ය විෂ්ණුගේ දස අවතාරයන් අතර එකක් ලෙස පිළිගෙන ඇත. ස්කන්ධ පුරාණයේ සඳහන් වන අන්දමට මත්සයාගේ ස්වාමියා ශිව ලෙස හඳුන්වා ඇත. ශිව දෙවියා හැර වෙනත් දෙවියන් නිරූපණය කිරීම සඳහා ද ඉන්දු නිම්න මුද්‍රාවල මත්ස්‍ය සංකේතය ආගමික සංකේතයක් වශයෙන් මෙන්ම ධීවර කර්මාන්තය දැක්වීමට ආදී සමාජීය වෙනත් අදහසකින් යොදාගෙන ඇති බව ද කිව හැකි ය.16

ශ්‍රී ලංකාවේ ද මත්ස්‍ය සංකේතය මංගල සංකේතයක් ලෙස යොදා ගත් අවස්ථා බොහෝමයකි. පොළොන්නරුවෙන් හමු වූ මත්ස්‍යයන් දෙ දෙනෙක් නිරූපිත කැටයම් පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ එම සංකේතය මගින් අෂ්ට ග්‍රහ මණ්ඩලයක් දැක්වෙන බව සඳහන් කරයි.17 ශ්‍රී වත්ස්‍ය, චාමර, අංකුස, ස්වස්තික, භද්‍රාසන, සංඛ හා මත්ස්‍ය අෂ්ට ග්‍රහයින්ට හා දිසාවලට සම්බන්ධ බව ඔහුගේ අදහසයි. එසේම ටී.බී. කරුණාරත්න ද මත්ස්‍ය සංකේතය මගින් ග්‍රහයින් හා දිසා සංකේතවත් කරන බව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ මුල බ්‍රාහ්මී සෙල්ලිපි ගණනාවක මත්ස්‍ය සංකේතය වාර්තා වේ. බෝවත්තේගල, කොට්ටදැමුහෙල, හෙනන්නේගල ආදි ලිපි ඒ අතර වැදගත් වේ. මෙම මත්ස්‍ය සලකුණ සහිත ලිපි සියල්ල පැරණි රෝහණයට අයත් වන අතර එම ලිපිවල රුහුණේ පාලන තන්ත්‍රය මෙහෙය වූ රාජ පරපුර (අය) හෙවත් දස බෑ රජවරුන් පිළිබඳව සඳහන් වීම විශේෂ වේ. ලිපිවල කියැවෙන තොරතුරු පිළිබඳව මෙන්ම මත්ස්‍ය සංකේතය පිළිබඳව අවධානය යොමු කරන මහාචාර්ය පරණවිතාන රුහුණේ රජ කළ පාලකයන් ඉන්දියාවේ මත්ස්‍ය රජ පෙළපතකින් පැවත එන බව දක්වයි. ඒ අනුව, රෝහණයේ නිල ලාංඡනය ලෙස තම අනන්‍යතාව දැක්වීම උදෙසා මත්ස්‍ය සංකේතය යොදාගත් බව සඳහන් කරයි.18 ඔහුගේ මතය නිවැරදි නම් දුටුගැමුණු රජතුමා මිරිසවැටිය ස්තූපයේ සළපතල මළුව සැකසීමේ දී තම අන්‍යතාව හැඟවීම උදෙසා මත්ස්‍ය සංකේතය යෙදුවා විය හැකි ය. නැතහොත් මිරිසවැටිය ස්තූපය ඉදිකිරීමේ දී මෙන්ම පසු කාලීනව ප්‍රතිසංස්කරණය කිරීමේ දී සේවය සඳහා රෝහණයෙන් පැමිණි ගල්වඩුවන් තම අන්‍යතාව හැඟවීම උදෙසා මත්ස්‍ය සංකේතය ශිලා පුවරු වලට එක් කළා විය හැකි ය. නැතහොත් වර්තමානයේ විහාරස්ථානයක චෛත්‍ය මළුවක් ඉදිකිරීමේ දී ඒ සඳහා විවිධ පළාත්වල පිරිස් දායක වනවා මෙන් මිරිසවැටිය සළපතල මළුව සැකසීම සඳහා රෝහණයෙන් පැමිණි ජනතාව තම රාජ්‍යයයේ අන්‍යතාව දැක්වීම උදෙසා තමන් පූජා කරන ලද ශිලා පුවරුවලට මත්ස්‍ය සංකේතය යොදන්නට ඇති බව උපකල්පනය කිරීම යුක්ති සහගත ය.

මත්ස්‍ය සංකේතයට අමතරව මිරිසවැටිය සලපතල මළුවෙහි හෙන්ඩුව, පුන්සඳ, අඩසඳ, ස්තූප හා ගොඩනැඟිලි ආදී සංකේත බොහෝමයක් ද වේ. තව ද හංස හා කපුටා ආදී සත්ත්ව රූපවලට අමතර ව මිරිසවැටිය ස්තූප මළුවේ පමණක් දක්නට ලැබෙන හඳුනා ගැනීමට අපහසු සංකේත කිහිපයක් ද පවතී. ඒ අනුව, සෙසු ස්මාරක හා ස්ථාන ආශ්‍රිත දක්නට ලැබෙන කුරුටු සටහන් සංකේත සමඟ සැසඳීමේ දී මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ නිර්මිත සංකේත විවිධත්වයක් ගන්නා බව පැහැදිලි වේ.

නිගමනය

සමස්තයක් ලෙස මෙම සංකේතවලින් ගම්‍යවන අර්ථ පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී ඒවා වඩු සංකේත, පරම්පරා කුල, හෝ වෘත්තීය තත්ත්වයන් හැඟවීමේ සංකේත, ආගමික සංකේත, හා අභිචාරාත්මක අර්ථයෙන් යෙදු සංකේත ලෙස වර්ග කළ හැකි ය. මෙම සංකේත කුමන අදහසකින් සලපතල මළුවල ශිලාපුවරු වලට එක් කළේ ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි වුව ද දේශපාලනික, ආගමික, සංස්කෘතික අංග දැක්වීම කිසියම් සමාජීය දෘෂ්ටියකින් නිශ්චිත අර්ථයක් හැඟවීම උදෙසා සිදුකරන ලද්දක් බව කිව යුතුය.

පාදක සටහන්

  1. මහාවංශය, 1967, 26, 6-15
  2. එම, 26, 17
  3. එම, 26, 16-25
  4. ථූපවංශය, 1958, 10-101
  5. එම , 25, 1-3
  6. එම, 35, 120
  7. එම, 36, 37
  8. එම, 52, 46-49
  9. එම, 55, 17-22
  10. එම, 102-106
  11. Senadeera” 1992″ 154
  12.  Cunningham, 1854:17
  13.  Parker 1992: 44,
  14. පරණවිතාන, 1962:2117, 218 IC, vol, 1, XXVI
  15. අමරසේකර, 2017, 54
  16. එම, 74
  17. වික්‍රමගේ, 1991, 29
  18. Paranavithana 1970, 28

මූලාශ්‍රය ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අමරසේකර, සස්නි (2017), ශ්‍රී ලංකාවේ මූල බ්‍රාහ්මි සෙල්ලිපි සංකේත, ශ්‍රී ලංකා පාලි ග්‍රන්ථ සමාගම, වාද්දූව.
  • මහාවංශය (1967), ශ්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිතත රත්නාකර පොත් වෙළඳ ශාලාව, කොළඹ.
  • වික්‍රමගේ, චන්ද්‍රා (1991), “ශ්‍රී ලංකාවේ අෂ්ට මංගල හා අෂ්ට ග්‍රහ මණ්ඩලය”, තලල්ලේ සිරිධම්මානන්ද මහ නා හිමි අභිස්නව සංග්‍රහය, බෞද්ධ කටයුතු දෙපාර්තමේනතුව, කොළඹ.
  • සංක්ෂිප්ත වාර්තාව, (2017) ඓතිහාසික ස්මාරකවල කුරුටු සටහන් සංකේත පිටපත් කිරීමේ ව්‍යාපෘතිය, පළමු වන අදියර, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය.
  • සාසනරතන ස්ථවිර, මොරටුවේ (1952), ලක්දිව මහායාන අදහස්, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • Cunningham, A. (1854), The Bhilsa Thupe, London.
  • Paranavithana, S. (1970), Inscriptions of Ceylon, Vol.I, Department of Archaeology, Ceylon.
  • Parker, H. (1992), Ancient Ceylon, Asian Educational Services, New Delhi.
  • Senadeera, G. (1992), Buddhist Symblism of wisn, Delhi.

[මිරිසවැටි ස්තූපය දැක්වෙන ඡායාරූපය https://hiveminer.com වෙබ් අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

-------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.07 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

පැරණි ලංකාවේ ජලජ සම්පත් උපයෝජනය හා ධීවර කර්මාන්තය

එච්.එම්. ඉසුරු හේරත්

ඉසුරු හේරත්

පැරණි ලංකාවේ ජීවත් වූ අපගේ මුතුන්මිත්තන් ස්වකීය ආර්ථික යහපැවැත්ම උදෙසා අනේකවිධ ආර්ථික ක‍්‍රියාවලීන්වල නිරත වූහ. ඒ අතර ප‍්‍රමුඛස්ථානය ලැබුවේ කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය වෙයි. මීට අමතරව ඔවුහු වීදුරු, කුඹල්, රෙදිපිළි, ආභරණ, ලෝහ භාණ්ඩ, හම්, ඖෂධ, මැණික්, ගෘහ භාණ්ඩ, අවිආයුධ, ලාක්‍ෂා වැනි කර්මාන්තවල නියුක්තව සිටියහ. එහෙත් ඔවුහු ධීවර හා ජලජ සම්පත් කර්මාන්තයේ ද නියුක්තව සිටි බවට තොරතුරු ලැබෙන්නේ අල්ප වශයෙනි. එසේම නූතනයේ මෙම දුර්ලභ ක්ෂේත‍්‍රය පිළිබඳ ව පර්යේෂණ පවත්වා ඇත්තේ ද සීමිත උගතුන් පිරිසකි. ඔවුන් අතර ඉන්ද්‍රකීර්ති සිරිවීර, සිරිමල් රණවැල්ල, ආර්.එම්. උදේපාල, ඒ.ඒ. කුලතුංග, ලෙස්ලි ගාමිණී වැනි උගතුන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. උක්ත උගතුන්ගේ පර්යේෂණ තොරතුරු ද පදනම් කොට ගනිමින් ක‍්‍රිස්තු පූර්ව 3 සියවස සිට ක‍්‍රිස්තු වර්ෂ 15 දක්වා පැරණි ලංකාවේ ධීවර කර්මාන්තය පිළිබඳ ව අධ්‍යයනයක් කිරීමට මෙම ලිපියෙන් අපේක්‍ෂිත ය.

භූගෝලීය පදනම

පැරණි ලංකාවේ කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය මනාව පවත්වාගෙන යාම සඳහා ස්වාභාව ධර්මයා විසින් ලාංකිකයන්ට සුදුසු භූගෝලීය පරිසරයක් නිර්මාණය කොට දී තිබේ. ඒ අනුව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබෙන වර්ග කිලෝමීටර් 65,610කින් යුත් කුඩා දූපතක් වන ලංකාව වටා බොකු, කලපු, ගංමෝය, තුඩු වැනි චූල ගණයේ භූගෝලීය ලක්ෂණවලින් පිරිහී ගියා වූ ද කිලෝමීටර් 1,700ක වෙරළ තීරයකින් මෙන්ම වර්ග කිලෝ මීටර් 30,000ක මහද්වීප තටකයකින් සමන්විතය (කුලතුංග 2013:13). මීට අමතරව මහවැලි, කළු, වලවේ, කැලණි වැනි ගංගා 103ක් මුහුදට බසින, එමෙන්ම විවිධාකාර ප‍්‍රමාණයන්ගෙන් යුත් බොකු, කලපු, මෝය පනහකට ආසන්න ප‍්‍රමාණයකින් ලංකාවේ වෙරළබඩ කලාපය පොහොසත් ය. ශ‍්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ මත්ස්‍ය විශේෂ 215ක් පමණ ජීවත් වෙයි. ඒ අතර මීවැටියා, රන්නා, කොස්සා, ඌරු හොටා, කෙලවල්ලා, බලයා, තලපතා, කොප්පරා, සප්පරා, ගප්පරා වැනි මසුන් වැදගත් වෙයි. සුදු මෝරා, කළු මෝරා, කස මෝරා, උදලු මෝරා, බල මෝරා වැනි මෝර විශේෂ 60ක් පමණ ජීවත්වන මෙරට වෙරළ තීරයේ කිරි ඉස්සා, මලිස්සා, කුරුටු ඉස්සා වැනි වාණිජ වශයෙන් වැදගත් ඉස්සන් විශේෂ 4කුත් පොකිරිසි විශේෂ 6ක් ජීවත් වෙයි (කුලතුංග 2013:14). මීට අමතරව ශ‍්‍රී ලංකාවේ ඇල දොළ, වැව් ජලාශ ආශ‍්‍රිත මිරිදිය ධීවර බිම්වල මත්ස්‍ය විශේෂ 108ක් පමණ ජීවත් වේ.

ප‍්‍රාග් හා ප්‍රොටෝ ඓතිහාසික පසුතලය

ඵෙතිහාසික යුගයට පෙර එනම් ක‍්‍රිස්තු පූර්ව 125,000 – ක‍්‍රිස්තු පූර්ව 3 දීර්ඝ කාලයකට අයත් ප‍්‍රාග් – ප්‍රොටෝ යුගයේ මානවයා ද කිසියම් දුරකට ජලජ සම්පත් පරිභෝජනයේ නිරත වූ බවට සාධක බුලත්සිංහල පාහියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන, බෙල්ලන්බැඳි‍පැලැස්ස, කිරින්ද වරාය, කිරින්ගොඩාන, කරෙයිනගර් වැනි ස්ථානවලින් හමු වී ඇති ලේල්ලා (Mahseer) මිරිදිය කකුළුවන් මිරිදිය ගොළුබෙල්ලන්, කරදිය ද්විකපාටයන්, මෝරන් මුහුදු බෙල්ලන් වැනි ජලජ ජීවීන්ගේ අස්ථි කොටස් හමු වීමෙන් විශද වෙයි. එසේම ඔවුහු පළදිනා ලෙස මෝර දත්, මුහුදු බෙල්ලන්, මෝර කොඳු නාරටි භාවිත කොට තිබේ. විශේෂයෙන් ම කිතුල්ගල බෙලිලෙනින් හමු වී ඇති පළඳනාවක සවි කර තිබුණු කලපු බෙල්ලා වසර 21,000 පැරණි බවට හෙළි වී ඇත (කුලතුංග 2013:40). ප්‍රොටෝ ඵෙතිහාසික යුගයට අයත් කිරින්ද වරාට ආශ‍්‍රිතව කර ඇති පුරා විද්‍යාත්මක කැනීමකින් හමු වී ඇති මත්ස්‍ය බිලිකටුව ක‍්‍රිස්තු පූර්ව 500 – 300 අතර කාලසමයට අයත් බව රාජ සෝමදේව සොයාගෙන ඇත.

ඵෙතිහාසික යුගයේ ධීවර හා ජලජ සම්පත් කර්මාන්තය

ප‍්‍රාග් ප්‍රොටෝ අවදිවල සිට වර්ධනය වුණු ධීවර හා ජලය සම්පත් පරිභෝජනය ඵෙතිහාසික යුගයේ දි කර්මාන්තයක් වශයෙන් වර්ධනය වුව ද ඒ පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ අල්ප වශයෙනි. ඊට හේතුවන්නට ඇති කරුණ වන්නේ බුදුදහමෙන් පැරණි ලාංකිකයන්ට සමාජමය වශයෙන් ඇතිවුණ බලපෑම බව පෙනේ. වෙරළේ සිට ඊට අභ්‍යන්තර ගම්මානවලට මාළු ප‍්‍රවාහනය කිරීම දුෂ්කර කරුණක් වීම ද ධීවර කර්මාන්තය අවම වීමට හේතුව බව ඉන්ද්‍රකීර්ති සිරිවීර පෙන්වා දුන්න ද එය පිළිගත නොහැක (සිරිවීර 2013:1920). මක්නිසා ද යත් පැරණි සාහිත්‍ය මූලාශ‍්‍රයවල සහ සෙල්ලිපි සාධකවලට අනුව මිරිදිය ධීවර කර්මාන්තය ද මෙරට පැවති බවට අල්ප වූ ද සාධක හමු වීමෙනි. එහෙත් ආර්.එම්. උදේපාල පෙන්වාදෙන්නේ පුරාණ ලාංකිකයන් එළවළු පමණක් නොව ආහාර වේල රසවත් කර ගැනීමට හා පෝෂ්‍යදායි කර ගැනීමට මාළු පරිභෝජනය කළ බවයි (උදේපාල 2013:122). මීට අමතරව ඉන්ද්‍රකීර්ති සිරිවීර, සිරිමල් රණවැල්ල පෙන්වා දෙන්නේ පුරාතනයේ කරදිය ධීවර කර්මාන්තයට වඩා මිරිදිය ධීවර කර්මාන්තය මෙරැටියන් අතර ප‍්‍රචලිතව පැවති බවයි. මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන සිරිමල් රණවැල්ල පෙන්වා දෙන්නේ වැව්, ඇළ දොළ, ගංගා ආදියෙහි වැඩි වශයෙන් සිටින මසුන් බිලි බා ගැනීම මීට හේතුවන්නට ඇති බවයි (රණවැල්ල 2014:234). එහෙත් කිසියම් දුරකට එකල දිවයිනේ කරදිය ධීවර කර්මාන්තය පැවති බවට ශක්තිමත් සාධක මහාවංසය, ථූපවංසය, සහස්සවත්ථුප්පකරණය, සද්ධර්මාලංකාරය, රසවාහිණිය වැනි සාහිත්‍ය මූලාශ‍්‍රය මඟින් ලැබෙයි (රණවැල්ල 2014:234). නිදසුන් ලෙස දේව කෝපය සංසිදුවීම සඳහා මුහුදට පා කර යැවූ විහාර මහා දේවිය රැගත් යාත‍්‍රා කිරින්ද වෙරළට සම්ප‍්‍රාප්ත වූ අවස්ථාවේ තොටලුගම විසූ කෙවුලන් හෙවත් ධීවරයන් විසින් කාවන්තිස්ස රජතුමාට ඒ බව දැනුම් දී තිබේ. විසුද්ධිමග්ගයේ සඳහන් වන පරිදි එක් පුද්ගලයෙකු මස් කරප්පයක් හෙවත් කරක්ගෙඩියක් උපයෝගී කොටගෙන මුහුදේ මසුන් ඇල්ලු බව සඳහන් වෙයි (උදේපාල 2013:123). එසේම මහාවංශයේ දුට්ඨගාමිණී කතා වස්තුවේ විහාර මහාදේවියගේ දොළදුක් පිළිබඳව සඳහන්වන පුවතක මුහුද වෙරළ සමීපයේ මී පිරවූ මුනින් අතට හරවා තිබුණි. ඔරුවක් පිළිබඳ ව සඳහන් වෙයි. එම පුවත මෙසේ මහාවංශයේ අන්තර්ගත ය.

ගොළු මුහුදු වෙරළ සමීපයෙහි මී පිරවූ මුනින් නමා පියන ලද ඔරුවක් දැක දනව් වැසි මිනිසෙක් රජහට කීයේ ය. රජ තෙමේ දේවිය එහි පමුණුවා මොනවට සකස් කළ මඩුවෙක්හි හිඳුවන රිසි පරිද්දෙන් ඒ බිසව ලවා මී වැළැඳ වීය (මහාවංශ 1996:101).

එසේම රසවාහිණියේ සහ සද්ධර්මලංකාරයේ සඳහන් වන පරිදි අනුරාධපුරයට ආසන්නව පිහිටා තිබුණු මුගලයින් රට නම් ධීවර ගම්මානයක් සහ ලක්දිවේ බටහිර වෙරළ ආසන්නයේ මඟුණ හෙවත් මංගන ගමට නුදුරින් මහදැල්ල නම් ධීවර ගම්මානයක් පිළිබඳව තොරතුරු සඳහන් වෙයි. අතීතයේ මෙරට ධීවරයන් හඳුන්වා ඇත්තේ කෙවුලන් යන නාමයෙන් වන අතර ඔවුන්ගේ ගම්මාන හඳුන්වා ඇත්තේ කෙවුළුගාම යන නාමයෙනි. තවද තිත්තිවිල කඩුලු නම් බිලි වැද්දෙකු කඩොල් ඇතා දැක ඒ බව කාවන්තිස්ස රජතුමාට දන්වා ඇත (රණවැල්ල 2014:235). මේ අනුව පෙනී යන්නේ වෘත්තිමය ධීවරයන් පමණක් නොව වැද්දන් පවා මසුන් ඇල්ලීමෙහි නිරතව සිටි බවයි. මීට අමතරව මහදැල්ගම ජීවත් වූ ශක්තිමත් මහදැල් නම් ධීවරයෙකු මහත් විශාල එක දඬු ඔරුවක් මුහුදට ගෙන ගිය පුවතක් රසවාහිණියේ සඳහන් වෙයි. දෙ වන පරාක‍්‍රමබාහු රජතුමාගේ බෙම්තොට පුවරු ලිපියෙහි මණකප්පම්බ රායර් නම් ධීවරයෙකුට මුදල් දී ඔහු සතුව තිබූ ඉඩමක් ගලපාත විහාරයට පූජා කළ පුවතක් කොටවා තිබේ (EZ Vol.IV, P203, 8-9). බෝවත්තේගල, කොට්ටදැමූහෙල, කන්දෙගම කන්ද යන ස්ථානවලින් හමුවී ඇති ක‍්‍රිස්තු පූර්ව යුගයට අයත් ශිලාලේඛනවල මත්ස්‍ය සංකේත යොදවා ඇත. එසේම පොළොන්නරුව දුවේගලින් හමු වී ඇති ශිලාලේඛනයක මුහුදු යාත‍්‍රාවක සංකේතයක් කොටවා ඇත.

මසුන් ඇල්ලීමේ විධික‍්‍රම, මත්ස්‍ය විශේෂ සහ අපනයනය කළ ජලජ ද්‍රව්‍යය

මසුන් ඇල්ලීමේ ක‍්‍රම ද පැරණි පාලි සිංහල සාහිත්‍ය මූලාශ‍්‍රයවල අන්තර්ගත වෙයි. මසුන් අල්ලා ගැනීමේ උපකරණ වශයෙන් කරක්ගෙඩි, බිලි කටු, කෙමන්, මාළු දැල් පිළිබඳව තොරතුරු සම්මෝහවිනෝදනියේ අන්තර්ගත වෙයි (උදේපාල 2013:123). එසේම ක‍්‍රිස්තු වර්ෂ 5 සියවසේ දී රචිත සමන්තපාසාදිකාවේ බිලිය (බලි), දැල (ජාල) සහ කෙමන (කුමීන) යන උපකරණ ත‍්‍රිත්වය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙයි (සිරිවීර 2001:250). මදනථල නම් විෂ අන්තර්ගත ගෙඩි වර්ගයක් තලා ජලයට මුසුකොට මසුන් මත් කොට අල්ලා ගන්නා උපක‍්‍රමයක් පිළිබඳව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි (සිරිවීර 2001:250). ලීයෙන් සහ වේවැල්වලින් සකසා ගන්නා දිග පැසක් වන් කෙමන නම් මසුන් ඇල්ලීමේ උපකරණයක් පිළිබඳව තොරතුරු ජාතක අටුවා ගැටපදයේ ඇතුළත් වෙයි. එසේම සද්ධර්මාලංකාරයට අනුව බිලි පෙත්තෙහි කොටස්වන බිලි ඉපිල, බිලි කොක්ක සහ බිලි ලීය පිළිබඳව ද විස්තර කරයි. මසුන් අල්ලා ගැනීම සඳහා කරක නම් උපකරණයක් භාවිත කළ බව සද්ධර්මාලංකාරයේ සේම, රොබට් නොක්ස් ද වාර්තා කරයි. මහනුවර යුගයේ සිරකරුවෙකු වශයෙන් සිටි මොහු කරක් උපකරණය අනුසාරයෙන් ධීවරයෙකු මසුන් අල්ලා ගන්නා ආකාරය දැක්වෙන සිතුවමක් ද ඇඳ ඇත. මෙම උපකරණ මදක් කේතු ආකාරය වෙයි. පැරණි ලාංකික ධීවරයන් ඇල්ලු මත්ස්‍ය විශේෂය පිළිබඳ තොරතුරු බුත්සරණේ සහ ජාතික අටුවා ගැටපදයේ ඇතුළත් ය (සිරිවීර 2001:252). දිවයිනේ පෙතියා විශේෂ කිහිපයකි. ඒවා අතර හඳ පෙතියා, කොට පෙතියා, මස් පෙතියා, කටු පෙතියා වැදගත් වෙයි. ලූලා, වලයා, ගඟරා, හුංගා ආදී තෙලියා, ඉස්සා යනාදිය පැරණි ධීවරයා අල්ලාගත් සෙසු මත්ස්‍ය විශේෂය (සිරිවීර 2001:252). මසුන්ට අමතරව හක්ගෙඩි, මුතු, කොරල්, කැස්බෑ ලෙලි වැනි ජලජ ද්‍රව්‍යය දේශීයව භාවිත කළ පමණක් නොව විදේශ රටවලට ද අපනයනය කළ බවට සාධක අපමණය. විශේෂයෙන් ම කැස්බෑ ලෙලි සහ මුතු පුරාතනයේ මෙරට අපනයනය කළ ප‍්‍රධාන පෙළේ ජලය ද්‍රව්‍යය වෙයි. ලංකාවේ වයඹදිග මුහුදු කලාපයේ මුතු කිමිදීම බහුල වශයෙන් සිදු වූ බව පෙනේ. රජයට අයත් වාරි මාර්ගවලින් මෙන්ම ගම්මානවල චූල ගණයේ වාරි මාර්ගවලින් අල්ලා ගන්නා මසුන් නිවසට රැගෙන ගොස් ගෙවත්තේ පොකුණුවල හෝ ජල මාර්ගවලට දමා ඇති කොට තිබෙන බව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි (සිරිවීර 2001:252).

මසුන් පිළිබඳ අයිතිය සහ ඒ ආශ‍්‍රිත බදු ක‍්‍රම

පැරණි යුගයේ මසුන් පිළිබඳ අයිතිය පැවතියේ රාජ්‍යය, ග‍්‍රාමීය ආයතන සහ පුද්ගලයින් යන ත‍්‍රිවිධ කොටස්වලට ය. මෙම ත‍්‍රිවිධ කොටස්වලට අයත් ජලාශවලින් මසුන් ඇල්ලු විට බද්දක් අය කෙරිණ. එම බද්ද මජිබික, මජිබුක, මතෙරමජිබක යනුවෙන් අනුරාධපුර යුගයේ හඳුන්වා තිබෙන අතර පිසඹුරුවත වන නමින් පොළොන්නරු යුගයේ හඳුන්වා ඇත්තේ ද එම බද්දම වෙයි. ඇතැම් විට කිසියම් ජලාශයක මසුන් ඇල්ලීම සඳහා රජය විසින් පුද්ගලයින් සහ ග‍්‍රාමීය ආයතනවලට දීර්ඝ කාලීනව බද්දට දෙන ලදී. නිදසුන් ලෙස වසභ (ක‍්‍රි.ව. 67-111) රාජ්‍ය සමයට අයත් පෙරිමියන්කුලම පර්වත ලිපියෙහි කුඩා ග‍්‍රාමීය ජලාශ කිහිපයක මසුන් ඇල්ලීම වෙනුවෙන් අයකරන බද්ද ග‍්‍රාමීය පරිපාලන ඒකකවලට පවරා තිබේ (සිරිවීර 2001:253). තවද සමන්තපාසාදිකාවට අනුව පෞද්ගලික කුඩා ඇලවල්, පොකුණුවල සහ වැව්වල මසුන් ඇල්ලීමේ අයිතිය හිමි අයවලුන් සස්සාමික යන නමින් හඳුන්වා තිබේ (සිරිවීර 2001:253). මොවුන්ගේ අනුදැනුමකින් තොරව මසුන් ඇල්ලීම වරදක් ලෙස සලකති.

මත්ස්‍ය වෙළෙඳාම සහ මත්ස්‍ය ආහාර විශේෂ

පුරාතනයේ සිටම මෙරට මත්ස්‍ය වෙළෙඳාම පැවති බවට සිතිය හැකි නමුත් පැහැදිලි සාක්‍ෂි හමුවන්නේ ක‍්‍රිස්තු වර්ෂ 9 සියවසේ සිටය. නිදසුන් ලෙස අට වැනි අග්බෝ රජතුමා (ක‍්‍රි.ව. 804-815) විසින් පොහොය දිනවල අගනුවර (අනුරාධපුරය) මසුන් ගෙන ඒම තහනම් කොට තිබේ. පොහොය දිනවල හැර වෙනත් දිනවල නගරවල මසුන් විකිණීම මෙමඟින් තහනම් නොමැති බව ඉන්ද්‍රකීර්කි සිරිවීර පෙන්වා දෙයි (සිරිවීර 2001:251). කඩමන්ඩිවල මසුන් කාටත් පෙනෙන පරිදි පෙන් වූ බවට සඳහනක් සද්ධර්ම රත්නාවලියේ එයි. නියං සමයේ ජලය සිඳී ගිය ජලාශවල මසුන් බහුලව වෙසෙනු දැක වෙනත් අයවලුන්ට එම ස්ථානය සොයා ගැනීමට පහසුවන සේ තල් අතු සෙවිලි කොට සුරා සැල් ද විවෘත කොට පැවති ස්ථාන පිළිබඳ තොරතුරු අටුවා මූලාශ‍්‍රයවල ලැබෙයි (උදේපාල 2013:124). මසුන් ලුනු දමා කල්තබා ගත් අතර ලුනු මාලුවලට අමතරව මත්ස්‍ය තෙල් ගැන ද වාර්තා වන අතර දරුණු මත්ස්‍ය විශේෂයන් වන සුසුකවස ගෙන් නිපද වූ දුර්ලභ තෙල් විශේෂයක් ගැන සමන්තපාසාදිකාවේ අන්තර්ගත වෙයි. තවද නිවුඩු හාලේ බත් සමඟ කුඩ මසුන් නමි මත්ස්‍ය විශේෂය අනුභව කිරීම දුගී පුද්ගලයින් සිදු කළ බව මූලාශ‍්‍රයවල සඳහන් වෙයි (සිරිවීර 2001:251). ජාඩි දැමීම, ඇඹුල් තියල් දැමීම පසු කාලීනව ලාංකිකයන් හුරු වූ බව පෙනේ. මෙම කරුණු මඟින් පැහැදිලි වන්නේ පැරණි ලාංකිකයන් ධීවර සහ ජලජ සම්පත් උපයෝජනයේ සතුටුදායක ලෙස නිරතව සිටි බවයි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (2001), රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (2013), ශ‍්‍රී ලාංකේය ඉතිහාස තරංග, වරකාපොල, ආරිය ප‍්‍රකාශකයෝ.
  • රණවැල්ල, සිරිමල් (2014), පුරාතන ශ‍්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය, බොරලැස්ගමුව, විසිදුනු ප‍්‍රකාශකයෝ.
  • උදේපාල ආර්.එච්. (2013), අනුරාධපුර යුගයේ ආර්ථික ඉතිහාසය, කොළඹ, රත්න ප‍්‍රකාශකයෝ.
  • කුලතුංග ඒ.ඒ. (2013), ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, කොළඹ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
  • ගාමිණී, ලෙස්ලි (2007), පුරාණ ලංකාවේ වරායන්, කොළඹ, සූරිය ප‍්‍රකාශකයෝ.
  • මහාවංශය (1996), හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිත පඬිතුමා, කොළඹ, කෞතුකාගාර දෙපාර්තමෙින්තුව.

[මෙම ලිපියේ ඇති ඡායාරූපය https://prabathfunny.blogspot.com වෙබ් අඩවියෙන් ලබාගත් බව ස්තූතිපූර්වකව සටහන් කෙරේ.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.04 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

අනුරාධපුර, ඇතුළු නුවර

එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ දී පමණ පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නගරය හා බලකොටුව ඉදිකරන්නට ඇතැයි සැලකේ. පසු කාලීනව අනුරාධපුර ඇතුළු නුවර බලකොටුව කුටකන්නතිස්ස, වසභ ආදී රජවරුන්ගේ කාලයේ තව දුරටත් සංවර්ධනය කෙරින. මේ බලකොටුව දිය අගලකින් හා උස් ප්‍රාකාරයකින් වට වී තිබිණ. සිව් දිසාවට වාහල්කඩ දොරටු සතරක් ද තිබී ඇත.

වර්තමාන ථුපාරාම මාවතට උතුරින් පිහිටි ප්‍රදේශය ඇතුළු නුවරයි. මෙහි අනුරාධපුරයේ අනෙක් පුරාවිද්‍යා ස්ථාන තරම් විමර්ශනයට භාජනය වී ඇති බවක් නොපෙනේ. නගරයේ දකුණු දොරටුව පිහිටි ප්‍රදේශයේ කැනීම් කර ඇතත් දැනට එතරම් මහජන අවධානයට ලක්ව නැත. මේ ඇතුළු නුවර  ප්‍රදේශයේ පෞද්ගලික නිවාස හා නොයෙක් පෞද්ගලික ඉදිකිරීම් තිබෙනු දැකිය හැකි ය. එසේ වුවත් මේ ප්‍රදේශය තුළ වැදගත් ප්‍රධාන ස්මාරක හතරක් සංරක්ෂණය කර තිබේ.

රජ මාලිඟාව

ඉන් පළමු වැන්න රජ මාලිඟාවයි. ථුපාරාම මාවත පසු කොට සංගමිත්තා මාවත ඔස්සේ උතුරට මීටර් 230ක් පමණ ගිය විට වම් පස පළමු වන විජයබා රජ මාලිඟයේ නටබුන් දැකිය හැකි ය.

විජයබා මාළිඟය
දොරටුව – විජයබා මාළිඟය
විජයබා මාළිඟය
Vijayabahu Maligaya

11 වන සියවසේ චෝල පාලනයෙන් රට මුදවාගත් පළමු වන විජයබාහු රජතුමාගේ රාජාභිෂේක මංගල්ලය ක්‍රිස්තු වර්ෂ 1073-74 පමණ කාලයේ අනුරාධපුරයේ දී උත්සවාකාරයෙන් පැවැත්වීන. විජයබාහු රජතුමාගේ වාසස්ථානය වුයේ පොළොන්නරුවේ බැවින්, මෙය රාජාභිෂේකය සඳහා තාවකාලිකව ඉදිකළ රජමාලිඟාවක් ලෙස සැලකේ. ලංකාව එක්සේසත් කොට රජකම ගන්නට උදව්කල බුදල්නාවන් නම් සෙනවියාට පනාකඩු සන්නස පිලිගැන්වුයේ මෙහි දී බව සඳහන්ය. මේ ගොඩනැඟිල්ලේ බාහිර කොටස සමග දිග අඩි 216කි. පළල අඩි 128කි. මැද ඇති මාලිඟාවේ දිග අඩි 72කි. පළල අඩි 64කි.  මිට ඇතුළුවන දොරටුව දෙ පස කුවේරයාගේ අතවැසියන් ලෙස සැලකෙන සංඛ හා පද්ම යන බහිරව රුප කැටයම් කොට ඇති මුරගල් දෙකකි. ගඩොළින් නිමකොට බදාම පිරියම් කොට සිතුවම් ද ඇඳ තිබු බිත්ති වල නටබුන් දැනට සංරක්ෂණය කර ඇත.

දළදා මාළිගාව

දෙ වැනි ස්මාරකය දළදා මාළිඟාවයි. කිත්සිරි මෙවන් රජ දවස ලංකාවට වැඩම වූ දන්ත ධාතුන් වහන්සේ පළමුව මේඝගිරි විහාරයේ තැන්පත් කල බවත් පසුව ඇතුළු නුවර වඩා හිඳුවා එහි භාරකාරීත්වය අභයගිරි විහාරයට පවරාදුන් බවත් වංශ කතාවල දැක් වේ. එහෙත් ඇතුළු නුවර දළදා මාළිගාව කුමක්ද යන්න පිළිබඳව විවිධ මත පල වී ඇත. කෙසේ වෙතත්, දැනට දළදා මාළිඟාව ලෙස හඳුනාගෙන ඇති ගොඩනැඟිල්ලේ නටබුන් විජයබාහු මාලිගයේ සිට තවත් මීටර් 250ක් පමණ සංඝමිත්තා මාවත ඔස්සේ උතුරු දෙසට ගොස් දකුණු පසට හැරි තවත් මීටර් 100ක් පමණ ගීයවිට හමු වේ. අඩි 50ක් පමණ දිග හා පළලින් යුත් මේ ගොඩනැඟිල්ලේ ශෛලමය දොර, ජනෙල් ආදිය ශේෂව තිබෙනු දැකිය හැකි ය. මධ්‍යයේ ආසනයක් ද  දක්නට ලැබේ. පසෙක තවත් ගොඩනැඟිල්ලක නටබුන් ඇත. චෝල ආක්‍රමණයට පෙර තිබු දළදා මැදුර විනාශ වූ බැවින් ක්‍රිස්තු වර්ෂ 956 – 972 කාලයේ රජු වූ හතර වන මහින්ද රජතුමා කර වූ දළදා මාළිඟාව මෙය විය හැකි ය.

දළදා මාළිඟාව
දළදා මාළිඟාව
දළදා මාළිඟාව

මහාපාලි දාන ශාලාව

තුන් වන ස්මාරකය මහාපාලි දාන ශාලාවයි. කලින් කි දළදා මාළිගාවට මීටර් 50ක් පමණ දකුණු දෙසට වන්නට මහා පාලි දාන ශාලාව පිහිටා ඇත. දේවානම් පියතිස්ස රජතුමා විසින් මෙම දාන ශාලාව ආරම්භ කර ඇත. රජුගේ මාලිඟය අසල ඉදිකළ මුළුතැන් ගෙයකින් 800ක් පමණ භික්ෂුන් වහන්සේලාට දැන් පිළිගැන් වූ බව චීන දේශාටක හියුන් සාං සඳහන් කර ඇත. නගරයේ වෙසෙන පන්දහසක් පමණ වන පිරිසකට මේ ස්ථානයෙන් ආහාර සපයන්නට ඇති බව ෆාහියන් නම් චීන භික්ෂුන් වහන්සේ සඳහන් කර ඇත.  මෙම ස්ථානයේ අඩි 27.5ක් පමණ දිග අඩි 5.25ක් පමණ පළල ශෛලමය බත් ඔරුවක් තිබේ. මෙය දෙ වන අග්බෝ රජතුමා ඉදිකලබව කියවෙන බත් ඔරුව විය හැක. බත් ඔරුවේ බිත්තියක ලියවුනු 10 වන සියවසට අයත් සේ සැලකෙන සටහනක ‘මහා පෙළ බත් ගන්නා තාක් දෙනමෝ‘ යනුවෙන් සඳහන් වේ. මෙම සටහන නිසා මෙය මහාපාලි දාන ශාලාව ලෙස හඳුනා ගෙන ඇත.  මෙහි මහපෙල යන්න භාවිතෙ කොට ඇත්තේ දිනපතා දානය ලබා ගැනීමට භික්ෂුන් වහන්සේලා පේලියට වැඩම කරවිමයි.

මහාපාලි දාන ශාලාව
මහාපාලි දාන ශාලාව තුළ පිහිටි බත් ඹරුව (Rice bowl)
මහාපාලි දාන ශාලාව තුළ පිහිටි බත් ඹරුව (Rice bowl)

මේ දාන ශාලාවේ දැනට ඉතිරිව ඇත්තේ ගල් කණු 33ක් පමණි. මේ ස්ථානයේ වූ ගල් කණු ආදිය පසු කලක වෙනත් ඉදිකිරීම් සඳහා යොදා ගන්නට ඇත.

මහාපාලි දාන ශාලාව

මෙම ස්ථානයට ජලය ලබා ගැනීම සඳහා පාවිච්චි කළ ලිඳක් දැනට තහවුරු කොට ඇත. මෙහි ජල මට්ටම දක්වා පිය ගැට පෙළක් දක්නට ලැබීම විශේෂත්වයකි.

මහාපාලි දාන ශාලාවට අයත් ලිඳ

මේ දාන ශාලාව නොයෙක් රජවරු ප්‍රතිසංස්කරණය කොට ඇත. සොලින් විසින් විනාශ කිරීමෙන් පසු හතර වන මහින්ද රජතුමා මෙය නැවත ගොඩනඟා ඇත.

හතර වන මහින්ද රජු විසින් පිහිට වූ පුවරු ලිපිය
හතර වන මහින්ද රජු විසින් පිහිට වූ පුවරු ලිපියේ සමීප දර්ශනයක්

රජ මාලිඟයට අයත් ගම බිම් පාලනය, ආදායම බෙදී යන ආකාරය පිලිබඳ නීතිරීති ඇතුළත් හතර වන මිහිඳු රජ සමයේ පුවරු ලිපියක් ද මෙහි දක්නට ඇත.

ගෙඩිගේ

සිව් වන ස්මාරකය වන ගෙඩිගේ නමින් හැඳින්වෙන ගොඩනැඟිල්ලක නටබුන් ද ඇතුළු නුවර දක්නට ඇත. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පිය ලක්ෂණ ඇති මෙහි ඉතා පළල ගඩොළු බිත්ති මත ආරුක්කු හැඩයේ වහලක් තිබෙන්නට ඇත. ශෛලමය දොර ජනෙල් තවමත් දැකිය හැක. මෙය කුමන කාර්යයක් සඳහා ඉදිකරන්නට ඇත්දැයි අවිනිශ්චිත ය.

ගෙඩිගේ (පින්තුර අන්තර් ජාලයෙනි)
ගෙඩිගේ (පින්තුර අන්තර් ජාලයෙනි)

අනුරාධපුරයේ සංචාරය කරන ලාංකිකයන් බොහෝ දෙනෙකුට මෙම ස්මාරක පිළිබඳව අවබෝධයක් නොමැති බවක් හැඟේ. මේ ස්ථාන නැරඹීමට යන්නේ අනුරාධපුරයට යන දේශීය සංචාරකයන්ගෙන් සීමිත පිරිසක් පමණි.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.26 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණ ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සහ කළමනාකරණය

අරුණ රාජපක්ෂ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

ආචාර්ය අරුණ රාජපක්ෂ

හැඳින්වීම

මෙම පර්යේෂණය තුළ සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිය හරහා වූ උරුම සංරක්ෂණය, කළමනාකරණය සහ සැළසුම්කරණය සම්බන්ධව ශී‍්‍ර ලාංකේය සන්දර්භය ප‍්‍රත්‍යෙක්ෂණය කිරීම සිදු කෙරේ. ශී‍්‍ර ලංකාව 1980 පසුව එළඹෙන දශකය තුළ අනුරාධපුර හා මහනුවර පූජනීය නගර ඇතුළු සංස්කෘතික ක්ෂේත‍්‍ර හයක් යුනෙස්කෝ ජගත් උරුම ලේඛනයට ඇතුළත් කිරීම විශේෂ සන්ධිස්ථානයකි. ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික සම්පත් ආරක්ෂා කිරීමේ පෘථුල නෛතික මෙන් ම ආයතනික යාන්ත‍්‍රණයක් ඉහත සඳහන් කාල පරාසය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිය හරහා සාර්ථක විය. උක්ත යාන්ත‍්‍රණය කාලීන වශයෙන් ජගත් තලයේ මෙන් ම ජාතික තලයේ සාර්ථක නිර්මාණාත්මක ආකෘතියක් බවට පත් විය. ඒ සඳහා වෘත්තිමය දේශපාලන සහ ප‍්‍රජා අවබෝධය ගාමක බලවේගයක් ලෙස එකම අරමුණක් කරා යොමු වීම දැකගත හැකිය. මෙම කාල පරාසය සහ ඉන් අනතුරුව ශී‍්‍ර ලංකාවේ උරුම සංරක්ෂණය කළමනාකරණය සහ සැළසුම්කරණය සම්බන්ධයෙන් සිදු වන හඳුන්වාදීම් හරහා සිදු වන පරිවර්තනයක් අප විසින් තේරුම් ගත යුත්තේ ඊට පූර්ව අවධීන්ට සාපේක්ෂවය. එහි දී පූර්ව යටත් විජිත අවධිය තුළ දේශීය අනන්‍යතාවන් මත පදනම් වූ සාම්ප‍්‍රදායික සංරක්ෂණ ප‍්‍රවේශයක් තුළ දේශීය උරුම ස්ථානයන්ගේ තිරසාරභාවය තහවුරු වූ අතර යටත් විජිත අවධිය තුළ සම්ප‍්‍රදායික ප‍්‍රවේශයෙන් විද්‍යාත්මක අවශ්‍යතාවයන් අරමුණු කර ගත් වෘත්තීමය ආයතනමය ප‍්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනා ගත හැකි අතර එය දේශීය ප‍්‍රජා විරෝධතාවයන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප‍්‍රවේශයක් වෙත දෝලනය වීම තුළ දේශීය ආගමික ප‍්‍රජා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම වර්තමානයේ උරුමය හා සම්බන්ධ අර්බුද රැසකට හේතු වී ඇත.

ජගත් උරුම ක්ෂේත‍්‍ර සන්දර්භය

ශ‍්‍රී ලංකාව 1980 ජුනි 6 වන දින ලෝක සංස්කෘතික සහ ස්වාභාවික උරුමය ආරක්‍ෂා කිරීම සම්බන්ධ යුනෙස්කෝ සම්මුතිය නිල වශයෙන් පිළිගන්නා ලදින් ජගත් උරුම කමිටුවේ පාර්ශ්වකරුවෙකු බවට පත් විය. ඉන් අනතුරුව ශ‍්‍රී ලංකාව ජගත් උරුම ලේඛනයට ඇතුළු කිරීම සඳහා ක්ෂේත‍්‍ර හඳුනාගැනීම සහ නාමයෝජනා සකස් කොට බාර දීම සිදු කෙරිණි. පළමුවෙන් ම 1981 වසරේ අනුරාධපුර පූජනීය නගරය, පොළොන්නරුව පැරණි නගරය සහ සීගිරිය පැරණි නගරය ජගත් උරුම ලෙස නම් කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අතර, 1982 දෙසැම්බර් 4 වෙනි දින ඒවා ජගත් ලේඛනයට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව 1988 වසරේ දෙසැම්බර් මස මහනුවර පූජනීය ජීවමාන නගරය සහ ගාල්ල පුරාණ නගරය සහ බලකොටුව ද, 1991 දෙසැම්බර් මස රංගිරි දඹුල්ල විහාරය ද ජගත් උරුම ලෙස ප‍්‍රකාශයට පත් විය.

ජගත් සංස්කෘතික උරුම ක්ෂේත‍්‍රයේ නම සංස්කෘතික නිර්ණායක  නාම යෝජනා බාරදුන් වර්ෂය  ජගත් උරුම ලේඛනගත වූ දිනය
අනුරාධපුර පූජනීය නගරය i, iii, vi 1981 1982.12.4
පොළාන්නරුව පැරණි නගරය i, iii, vi 1981 1982.12.4
සීගිරිය පැරණි නගරය i, iii, vi 1981 1982.12.4
මහනුවර පූජනීය නගරය iv, vi 1988 1988.12
ගාල්ල පැරණි නගරය සහ කොටු පවුර iv 1988 1988.12
රංගිරි දඹුල්ල විහාරය i, vi 1988 19911

වගුව 1 : ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම, නිර්ණායක හා ප‍්‍රකාශයට පත් කළ දින

1991 වසරෙන් පසු මේ දක්වා (2015) කිසිදු සංස්කෘතික ක්ෂේත‍්‍රයක් තත් ලේඛනගත වී නොමැති වුවත් ස්වාභාවික උරුම ක්ෂේත‍්‍ර වන සිංහරාජ වන රක්‍ෂිතය සහ ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය පිළිවෙළින් 1988 සහ 2010 වසරවල ජගත් ස්වාභාවික උරුම ලෙස ප‍්‍රකාශයට පත් වී ඇත. සේරුවිල මංගල රජමහා විහාරය සඳහා 2006 වසරේ ද, සේරුවිල සිට ශ‍්‍රී පාදය දක්වා මහවැලි ගඟට සමාන්තරව දිවෙන පුරාණ වන්දනා ගමන් මාර්ගය සඳහා 2010 වසරේ ද නාම යෝජනා බාර දී ඇතත් ඒවා මේ දක්වා (2018) ජගත් උරුම ලෙස ප‍්‍රකාශයට පත් වී නොමැත.

ඒ අනුව, මේ වන විට (2018) ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ක්ෂේත‍්‍ර හයක් සහ ස්වාභාවික ක්ෂේත‍්‍ර 2ක් ජගත් උරුම ලේඛනයට ඇතුළත්ව ඇති අතර සංඛ්‍යාත්මකව දකුණු ආසියානු කලාපයෙන් දෙවෙනි වන්නේ ජගත් උරුම ස්ථාන 28ක් සහිත ඉන්දියාවට පමණි. උක්ත සංස්කෘතික ක්ෂේත‍්‍ර හයෙන් පහක් ම ස්ථානගත වන්නේ මෙම පර්යේෂණයට භාජනය වන සංස්කෘතික ත‍්‍රිකෝණය පිහිටන උතුරුමැද සහ මධ්‍යම පළාත්වල ය. මෙය එක් අතකට අසමතුලිත අවකාශීය ව්‍යාප්තියකි. සංස්කෘතික ත‍්‍රිකෝණය ආශ‍්‍රිත ජගත් සංස්කෘතික උරුම ක්ෂේත‍්‍ර ප‍්‍රධාන වශයෙන්,

  • ජීවමාන පූජනීය නගර (අනුරාධපුරය, මහනුවර)
  • ඓතිහාසික පැරණි නගර (පොළොන්නරුව, සීගිරිය)
  • පුරාණ ලෙන් විහාර (රංගිරි දඹුල්ල)

ලෙස වර්ග කළ හැකි ය. ඒ ඒ රටවල් ජගත් උරුම සඳහා ක්ෂේත‍්‍ර තෝරාගැනීමේ දී ජාතික වශයෙන් ඓතිහාසික, සංස්කෘතික, දේශපාලන ආදී කරුණු සැලකිල්ලට ගෙන විවිධ ප‍්‍රවේශ අනුගමනය කරනු ලැබේ. Van Der Aa et al.1  සමස්තයක් ලෙස ජගත් සන්දර්භය සලකා බැලීමෙන් ප‍්‍රධාන ප‍්‍රවේශ තුනක් හඳුනා ගන්නා අතර, ඒ අනුව ශ‍්‍රී ලංකාව ඉන් පළමු ප‍්‍රවේශය වන මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් එම රටේ ඓතිහාසික කේන්ද්‍රීය කලාපය (Historical Core) තෝරා ගැනීම සිදු කර ඇත.

වගුව 2 : ත‍්‍රිකෝණ සන්දර්භය හා ක්‍ෂේත‍්‍ර තෝරාගැනීමේ පදනම

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික, දේශපාලන කාල හා අවකාශීය සන්දර්භය සම්බන්ධයෙන් වැදගත් ම භෞමික කලාපයක් වන අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, මහනුවර, දඹුල්ල විහාරය ජගත් උරුම ලෙස සංස්කෘතික ත‍්‍රිකෝණය තුළ නියෝජනය වේ. මෙසේ නියෝජනය වන සංස්කෘතික ක්ෂේත‍්‍ර ජාතික වශයෙන් ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සෞන්දර්යාත්මක, සමාජීය සහ විද්‍යාත්මක අගයන්ගෙන් අද්විතීය ගුණාංග නියෝජනය කරන අතර ඒවායේ ගතිලක්‍ෂණ විවිධ ජගත් උරුම නිර්ණායකයන් ඔස්සේ සාධාරණීකරණය කර ඇත. ජාතික මට්ටමින් උක්ත ක්ෂේත‍්‍ර තෝරාගැනීම සඳහා සංකීර්ණ ඇගයීම් ක‍්‍රමවේදයක් භාවිත නොවූවත් එය ක්ෂේත‍්‍රයේ පළපුරුදු දැක්මක් සහිත වෘත්තිකයින් අතළොස්සකගේ මඟ පෙන්වීමෙන් හා කැපවීමෙන් සිදු වූවකි.

උක්ත ක්ෂේත‍්‍රයන් තෝරාගැනීම භෞමික අවකාශීය දෘෂ්ටිකෝණයෙන් ශ‍්‍රී ලංකාවේ එකිනෙකට අනුබද්ධව ස්ථානගත වන පළාත්වලට සීමා වූ අසමතුලිත ව්‍යාප්තියක් පෙන්නුව ද, වෙනත් බොහෝ දෘෂ්ටිකෝණයන්ගෙන් සමතුලිත නියෝජනයකි. ඒ තුළ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මූලික දෘෂ්ටිකෝණයෙන් පෞරාණික, මධ්‍ යකාලීන සහ වඩා මෑත කාලීනව පරිපාලන මධ්‍යස්ථාන නැතහොත් රාජධානි නියෝජනය කරයි.2 ඒවා තුළ ජගත් සංස්කෘතික උරුම නිර්ණායක හයෙන් 4ක් නියෝජනය වන අතර ආගමික දෘෂ්ටිකෝණයෙන් බෞද්ධ, බෞද්ධ හා හින්දු, ආගමික සහ ලෞකික ගුණාංගයන්ගෙන් සමන්විත ක්ෂේත‍්‍ර ද ඇතුළත් වේ. එසේම පූජනීය ජීවමාන නගර, අජීවමාන පැරණි නගර, පූජනීය ජීවමාන විහාර ද ඒ තුළ ඇතුළත් ය. නූතන දෘෂ්ටිකෝණයෙන් නාගරික, අර්ධ නාගරික සහ ග‍්‍රාමීය ක්ෂේත‍්‍ර නියෝජනය ද හඳුනාගත හැකි ය (වගුව 2). උරුම කළමනාකරණයේ සහ සංචාරක ව්‍යාපාරයේ බොහෝ අංශ රඳා පවතින්නේ ක්ෂේත‍්‍ර පිහිටා ඇති උක්ත සන්දර්භමය ගති ලක්‍ෂණ වලට අනුරූපව ය.

සන්දර්භය  ක්ෂේත‍්‍රයේ නම  ඓතිහාසික නියෝජන  භූගෝලීය පිහිටීම /පළාත ආගමික නියෝජන සංස්කෘතික අගය
අර්ධ නාගරික අනුරාධපුර පූජනීය නගරය පෞරාණික උතුරු මැද බෞද්ධ පූජනීය ජීවමාන i, iii, vi
අර්ධ නාගරික පොළොන්නරුව පූජනීය නගරය මධ්‍ය කාලීන උතුරු මැද බෞද්ධ/හින්දු i, iii, vi
ග‍්‍රාමීය සීගිරිය පැරණි නගරය පෞරාණික මධ්‍යම ලෞකික i, iii, iv
නාගරික මහනුවර පූජනීය නගරය මෑත කාලීන මධ්‍යම බහු ආගමික iv, vi
අර්ධ නාගරික දඹුල්ල විහාරය පෞරාණික/මෑත කාලීන මධ්‍යම බෞද්ධ ජීවමාන i, vi

   වගුව 3 : ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම සන්දර්භය3

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණය සංකල්පය සහ සන්දර්භය

සංවර්ධනය වෙමින් පවතින රටවල සංස්කෘතික උරුම සම්පත් ආරක්‍ෂා කිරීම උදෙසා යුනෙස්කෝ (UNESCO) සංවිධානය මගින් ආරම්භ කරන ලද පෘථුල වැඩ පිළිවෙළක ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාවේ පෞරාණික ස්මාරක ක්ෂේත‍්‍ර ආරක්‍ෂා කිරීම, ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වීම හා කළමනාකරණය වෙනුවෙන් සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය පිහිටුවන ලද අතර ඒ සඳහා මුදල් ප‍්‍රතිපාදන සැපයෙන්නේ සංස්කෘතික ස්මාරක සංවර්ධනය ද, ප‍්‍රතිසංස්කරණය කිරීම ද, ආරක්‍ෂා කිරීම ද, මෙරට සහ විදේශයන්හි ආගමික සහ සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීම ද සඳහා 1980 අංක 57 දරk පාර්ලිමේන්තු පනත මඟින් සම්මත වූ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟිනි.

ඓතිහාසික කාල අවකාශ සන්දර්භය සැලකිල්ලට ගැනීමේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන රාජධානි පැවති නාගරික මධ්‍යස්ථාන තුනක් සම්බන්ධ කරමින් සීමා පිහිටුවා ඇති සංස්කෘතික ත‍්‍රිකෝණයේ කෝණ තුනට උතුරින් අනුරාධපුරය පූජනීය නගරය ද, නැඟෙනහිරින් පොළොන්නරුව පැරණි නගරය ද, දකුණින් මහනුවර පූජනීය නගරය ද ඇතුළු වේ. උක්ත කෝණ තුනට අයත් ක්ෂේත‍්‍ර තුනට අමතරව සීගිරිය පැරණි නගරයත්, දඹුල්ල ලෙන් විහාරයත් ත‍්‍රිකෝණ සංකල්පයට ඇතුළු වන අතර ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සමස්ත සංස්කෘතික ජගත් උරුම හයෙන් පහක්ම ස්ථානගත වන්නේ උක්ත ත‍්‍රිකෝණ සංස්කෘතික කලාපය තුළ ය. වසර දෙ දහස් තුන්සීයකට වඩා ලිඛිත ඉතිහාසයක් සහිත දිවයිනේ උරුමය සංකේතවත් කරන ස්පර්ශනීය සහ අස්පර්ශනීය සාධක ව්‍යාප්තව ඇත්තේ මෙම ත‍්‍රිකෝණය මඟින් සළකුණු කරන විශාල භෞමික ක්ෂේත‍්‍රය තුළ ය (සිතියම 1).

සිතියම 1 : සංස්කෘතික ති‍්‍රකෝණය හා එම ව්‍යාපෘතියට අදාළ ක්‍ෂේත‍්‍ර4

සංස්කෘතික ත‍්‍රිකෝණ සංකල්පය කාලීන වශයෙන් ජගත් තලයේ හා ජාතික තලයේ සාර්ථක, නිර්මාණාත්මක පෘථුල ප‍්‍රවේශයකි. එසේ ම උපායමාර්ගික ප‍්‍රවේශයක් ද වේ. එයට එක් හේතුවක් නම් මීට ඉහත දී අරඹන ලද සෑම යුනෙස්කෝ ව්‍යාපෘතියක් ම එක් නිර්මාණයක් නැතිනම් එක් භූමි භාගයක් සම්බන්ධයෙන් පමණක් ක‍්‍රියාවේ යොදවනු ලැබීම ය. ක්ෂේත‍්‍ර තෝරාගැනීමේ ක‍්‍රියාවලිය සහ ඒ සියල්ල කාල අවකාශීය සන්දර්භය තුළ ත‍්‍රිකෝණ සංකල්පගත කිරීම හරහා සංචාරකයාගේ මානසික සිතියමට (Mental Map) ඇතුළු කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ වැදගත් ම ඓතිහාසික නගර කීපයක් ‘සංචාරකකරණයට’ (Touristification) ලක් කිරීමට ගත් තීරණාත්මක ප‍්‍රථම පියවරක් ලෙස හඳුන්වා දිය හැකි ය.5 එසේ වුව ද ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණ සංකල්පය ක්ෂේත‍්‍ර කීපයක් සම්බන්ධ පළාත් දෙකක විසුරුණු විශාල ප‍්‍රදේශයකි. ඒ නිසා මෙම ත‍්‍රිකෝණ සංකල්පය යුසේකෝවේ විෂය පථය පුළුල් කිරිමට ද මග පෑදූ ක‍්‍රියාදාමයක් වෙයි. සංකල්පයේ උපායමාර්ගික බව සහ අපූර්ව නිර්මාණාත්මක බව නිසා ශ‍්‍රී ලංකාවට ජගත් උරුම කිහිපයක් ප‍්‍රකාශයට පත්කර ගැනීමට හැකි විය. අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන සෑම ක්ෂේත‍්‍රයක්ම අන්තර්ජාතික වශයෙන් අද්විතීය අගයක් දරන්නා වූ ස්ථානයන් වන බැවින් ඒ අතරින් කිසිවක් ප‍්‍රතික්ෂේප කිරීමට යුනෙස්කෝ ජගත් උරුම කමිටුවට නොහැකි වූයේ ත‍්‍රිකෝණය සංකල්පගත කර තිබූ ක‍්‍රමවේදය නිසා ය.

සංස්කෘතික ත‍්‍රිකෝණයේ ප‍්‍රභවය කාලීන වශයෙන් සිදුවන්නේ ජගත් තලයේ මෙන් ම දේශීය තලයේ සංස්කෘතික උරුමය සම්බන්ධ ප‍්‍රවණතා පසුබිම් කරගෙන ය (රූපසටහන1). ජගත් තලයේ ප‍්‍රවණතා සැලකිල්ලට ගැනීමේ දී විශේෂයෙන්,

  • දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංස්කෘතික උරුම විනාශයේ අත්දැකීම්වලින් ජගත් පරිමාණයෙන් උරුමය ආරක්‍ෂා කරනු වස් නෛතික ප‍්‍රතිපාදන, සම්මුති හා ආයතනමය ප‍්‍රවේශයන් ශක්තිමත් වීම සහ අන්තර්ජාතික වෘත්තීමය සබඳතා පුළුල් වීම
  • 1960, 70 දශක තුළ විවිධ සංවර්ධනාත්මක ප‍්‍රවණතා, සංස්කෘතික උත්සව සහ ඒ ඒ රටවල පිහිටි සංස්කෘතික උරුමයන් සමස්ත මානව ප‍්‍රජාවගේ ම උරුමයන් සේ සලකා ආරක්‍ෂා කිරීමට පෙළඹීමේ ගෝලීයකරණ ක‍්‍රියාදාමය නව මුහුණුවරක අභියෝග එල්ල කරන්නට වූ අතර (Cleere 1989:3)6 ඉන් සංස්කෘතික උරුම සම්පත් ගලවා ගැනීම සහ කළමනාකරණය උදෙසා සංස්කෘතික සම්පත් බේරාගැනීමේ පුරාවිද්‍යාව (Salvage Archaeology), සංස්කෘතික සම්පත් කළමනාකරණය (Cultural Resource Management) ආදී ශික්‍ෂණයන්ගේ ප‍්‍රභවය සිදුවීම.7
  • පසුගිය දශක කීපය තුළ සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ ඇති වූ විශේෂ ලක්ෂණ ලෙස විදේශ විනිමය ඉපයීමේ මෙන් ම උරුම සංරක්‍ෂණයට මුදල් ඉපයීමේ (Conservation financing) මාර්ගයක් ලෙස හඳුනාගැනීම සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය හා බැඳුණු උරුමය ගෝලීයකරණය වීමේ ක‍්‍රියාදාමය (Globalising Heritage) මෙන් ම සංචාරක ව්‍යාපාරය හරහා ක‍්‍රියාත්මක වූ නව යටත්විජිතවාදී (Neo Colonialism) සහ නව අධිරාජ්‍යවාදී (New Imperialism) ප‍්‍රවණතා පෙන්වා දිය හැකි ය.
රූප සටහන 1 : සංස්කෘතක ති‍්‍රකෝණ අකෘතියේ ප‍්‍රභවය හා එහි ගාමක බලවේග8

ජගත් ප‍්‍රජාවගෙන් සමන්විත වූ ජාත්‍යන්තර සංවිධානයක් වන යුනෙස්කෝ (UNESCO) සංවිධානය ජගත් උරුම ආරක්‍ෂා කිරීමේ ප‍්‍රවේශය ලබා ගන්නේ ඊජිප්තුවේ අබු සිම්බල් (Abusimbol) දේවස්ථානය මුහුණ දුන් ඉරණමින් ගලවා ගැනීමට මැදිහත් වීමත් සමග ය. මෙම ප‍්‍රයත්නය හරහා එම සංවිධානය ලොවට පසක් කළ යථාර්ථයක් නම් ජාත්‍යන්තර ප‍්‍රජාවට ලොව කවර ප‍්‍රදේශයක වුව උරුමයන් ආරක්‍ෂා කිරීමට සහයෝගීතාවෙන් මැදිහත් විය හැකි බවත් ඒ හරහා නූතන අවශ්‍යතා ඉටු කරගත හැකි බවත් ය. මේ සඳහා මූලික නෛතික ප‍්‍රවේශය 1972 ජගත් උරුම ප‍්‍රඥප්තියෙන් සකසා ගන්නා ලදි. උක්ත නෛතික පසුබිම මත යුනෙස්කෝවට අනුබද්ධ ස්මාරක සහ ක්ෂේත‍්‍ර පිළිබඳ අන්තර්ජාතික කෞතුකාගාර කවුන්සිලය වැනි වෘත්තීමය ආයතන හරහා ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින් ජගත් සන්දර්භයේ සංස්කෘතික උරුමය ආරක්‍ෂා කිරීම සම්බන්ධව සහයෝගීතාවෙන් අන්‍යෝන්‍ය දැනුම් හුවමාරු කර ගනිමින් කටයුතු කරන ලදි.

උක්ත ජාත්‍යන්තර පසුබිම තුළ සංස්කෘතික ත‍්‍රිකෝණ සංකල්පය යථාර්ථයක් වීමෙහි ලා බල පෑ දේශීය සන්දර්භය ද වැදගත් වේ. එහි දී,

  • පශ්චාද් නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල ප‍්‍රජා අවශ්‍යතාවක් වීම
  • දේශපාලන යාන්ත‍්‍රණය
  • රාජ්‍ය තාන්ත‍්‍රික ක‍්‍රියාකාරීත්වය
  • විශේෂඥ වෘත්තිකයන්ගේ මැදිහත්වීම සහ කැපවීම (රූප සටහන 2 බලන්න)

ආදී දේශීය බලවේගයන් එක් අරමුණක් තුළ ක‍්‍රියාත්මක වීම සංස්කෘතික ත‍්‍රිකෝණයේ ප‍්‍රභවයට ආශීර්වාදයක් විය.9

සංස්කෘතික ත‍්‍රිකෝණ සංකල්පය ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධන වැඩසටහනක් ලෙස උපත ලබන්නේ තත්කාලීනව ගන්නා ලද දේශපාලන ප‍්‍රතිපත්ති තීන්දු තීරණ හරහා ය. සංස්කෘතික උරුමය සඳහා ශ‍්‍රී ලාංකේය ආකල්පයන් ඓතිහාසිකව සමීපව රාජ්‍ය ප‍්‍රතිපත්ති සමග අවියෝජනීය ලෙස බද්ධ වී පැවති බව විවිධ සමාජ, ආර්ථික සංවර්ධනාත්මක අවධි තුළින් පිළිබිඹු වේ.10 එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගය වන විට සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා ලද ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග සලකා බැලීමේ දී ශ‍්‍රී ලාංකේය ආර්ථිකයේ විශේෂ අංගයක් ලෙස සංස්කෘතික උරුමය හඳුනාගෙන ඇත. 1966 දක්වා ශ‍්‍රී ලංකාවේ විධිමත් සැලසුම්ගත සංචාරක ව්‍යාපාරයක් නොවූ අතර 1966 අංක 10 දරන පාර්ලිමේන්තු පනත සහ 1966 අංක 14 දරන හෝටල් සංස්ථා පනත මගින් නෛතික සහ ආයතනමය මැදිහත්වීම සඳහා අවශ්‍ය මූලික පදනම සකස් විය.11

රූප සටහන 2 : සංස්කෘතක ති‍්‍රකෝණය හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අකෘතියේ ප‍්‍රභවය හා එහි ගාමක බලවේග12

ඒ අනුව ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය (Ceylon Tourist Board-CTB) 1966 ප‍්‍රතිපත්ති සම්පාදක ආයතනයක් ලෙස ස්ථාපිත විය. 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත (Tourism Development Act No. 14 of 1968) බලතල ප‍්‍රකාරව සංචාරක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන් උක්ත ආයතන ද්වය ක‍්‍රියාත්මක විය.

උක්ත පසුබිම තුළ ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය ව්‍යවස්ථාපිත නෛතික බලතල සහිත ආයතනයක් ලෙස මූල්‍යමය ස්වාධිපත්‍යයක් සහිතව දීප ව්‍යාප්තව තීරණ ගනිමින් ක‍්‍රියාත්මක ආයතනයක් පමණක් නොව ජාත්‍යන්තර සංචාරක සංවිධානයේ (WTO) ශ‍්‍රී ලාංකේය නියෝජනය බවට ද පත් විය. 1967 දී ශ‍්‍රී ලංකාවේ සංචාරක වර්ෂය ආරම්භ කරන ලදි. මේ වකවානුව තුළ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සියේ (United States Agency for International Development – USAID) ආධාර සහිතව දස අවුරුදු සංචාරක සංවර්ධන සැලැස්මක් සඳහා පදනම සකස් කළ අතර උක්ත සැලැස්මට අනුව 1967 – 1976 කාල පරාසය තුළ වාර්ෂිකව 32%ක වර්ධන වේගයක් අපේක්‍ෂා කළ අතර, සංඛ්‍යාත්මකව 1967 දී 24,000 ක් වූ විදේශීය සංචාරක පැමිණීම 1976 වන විට 307,000 දක්වා වර්ධනය කිරීමට අපේක්‍ෂා කළේ ය.13 උපරිම වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක විභවතාව ග‍්‍රහණය කරමින් ආර්ථික සංවර්ධනය, ප‍්‍රාදේශීය ප‍්‍රජා සංවර්ධනය, එමෙන්ම සංස්කෘතික සහ ඓතිහාසික අගයන් ආරක්‍ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණු සහිතව තිරසාර සංවර්ධන දෘෂ්ටිකෝණයකින් දියත් කළ උක්ත සැලැස්ම මගින් ශ‍්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් වන ස්වාභාවික, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යාත්මක සංස්කෘතික උරුමය ආරක්‍ෂා කිරීම සහ සංරක්‍ෂණය කිරීම විශේෂ අවශ්‍යතාවක් ලෙස සලකා ඇත. ඒ සැලැස්ම තුළ සංවර්ධනය සහ සංරක්‍ෂණය අරමුණු කොට සම්පත් ආකර්ෂණය පදනම් කරගනිමින් ශ‍්‍රී ලංකාව සංචාරක කලාප පහකට බෙදා ඇත. ඒවා පහත පරිදි ය.

    1. කොළඹ ප‍්‍රදේශය
    2. දක්‍ෂිණ වෙරළබඩ ප‍්‍රදේශය
    3. නැඟෙනහිර වෙරළබඩ ප‍්‍රදේශය
    4. පැරණි නගර ප‍්‍රදේශය
    5. කඳුකර ප‍්‍රදේශය

උක්ත සැලසුම් ප‍්‍රකාරව පැරණි නගර කලාපය තුළ ස්මාරක සහ ක්ෂේත‍්‍ර සංරක්‍ෂණය කර සංචාරකයින් සඳහා ඉදිරිපත් කිරීමේ අරමුණින් සංස්කෘතික ත‍්‍රිකෝණය ඇරඹිණ.15 සංස්කෘතික ත‍්‍රිකෝණයේ ප‍්‍රභවය දක්වා වූ දශකයකට අධික කාලයක් තුළ වූ ක‍්‍රියාවලිය තුළ දේශපාලන, වෘත්තීමය සහ රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීම් ද වැදගත් වේ.

1969 වසරේ ආසියානු පුරාවිද්‍යාව පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව කොළඹ දී පැවති අතර එහි දී රෝලන්ඩ් සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකාවේ පෞරාණික අනුරාධපුර නගරයේ බිම් සැලැස්ම පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් වූ අතර එහි දී මතු වූ අදහසක් නම් මෙබඳු ව්‍යාපෘතියක් සුදුසු සැලසුම්කරණ වැඩසටහනක් සමග ඉදිරිපත් කළහොත් යුනෙස්කෝ ආධාර පහසුවෙන් ලබාගත හැකි ය යන්න ය. ඒ අනුව රෝලන්ඩ් සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් ක්ෂේත‍්‍රයේ පළපුරුදු වෘත්තිකයන් පිරිසක් විසින් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ආර්.එච්. ද සිල්වා සහ අනුරාධපුර සංරක්‍ෂණ මණ්ඩලයේ සභාපති කේ.ඩී.එම්.සී. බණ්ඩාර මහතුන්ගේ ඉල්ලීම මත 1969 වසරේ අදාළ වාර්තාව සැකසීම ඇරඹිණ. මින් පැහැදිලි වන්නේ ත‍්‍රිකෝණයේ ප‍්‍රභවයට දශකයකට අධික කාලයකට පෙර දී යුනෙස්කෝ සංවිධානයේ මැදිහත්වීමෙන් සිදු කළ හැකි දැවැන්ත උරුම සංරක්‍ෂණ වැඩසටහනක් සඳහා පවතින විභවතාව පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කර ඇති බවකි. මේ වන විට ජගත් උරුම ප‍්‍රඥප්තියවත් එළි දැක නොතිබුණි. ඉහත සඳහන් කළ වාර්තාව ඉතා කෙටි කලක් තුළ සකසා ඉදිරිපත් කළ පසු එවකට අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු විෂයභාර අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් යුනෙස්කෝ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස රිටිගල පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය යොදාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළ අතර එහි සභාපති ලෙස පුරාවිද්‍යා කොමසාරිස් රෝලන්ඩ් සිල්වා කටයුතු කළේ ය. උක්ත කමිටුව මගින් ‘ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය’ මැයෙන් කැබිනට් පත‍්‍රිකාවක් පිළියෙළ කළ අතර අදාළ ක්ෂේත‍්‍ර ලෙස අනුරාධපුරය, රිටිගල, පොළොන්නරුව හා සීගිරිය ඇතුළු කරන ලදි. කෙසේ හෝ මෙම කැබිනට් පත‍්‍රිකාව එවකට ඉදිරිපත් නොවූයෙන් නැවත සංශෝධන සහිතව ඉදිරිපත් වන්නේ 1975 දී ය. මේ වන විට රෝලන්ඩ් සිල්වා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ගාමක බලවේගයක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් සිටියේ ය. ඔහු ඒ වන විට අන්තර්ජාතිකව ද මෙම ක්ෂේත‍්‍රයේ පිළිගත් වෘත්තිකයෙකු ලෙස යුනෙස්කෝ සංවිධානය සමග කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් පදනම් කරගනිමින් සංස්කෘතික ත‍්‍රිකෝණය පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව සකස් කළේ ය. කෙසේ වෙතත් 1977 වන තුරුත් මෙම යෝජනාවලිය ඉදිරිපත් නොවුණි. 1978 සංස්කෘතික ත‍්‍රිකෝණයේ ප‍්‍රභවය සම්බන්ධයෙන් වැදගත් වර්ෂයක් වූයේ එම වසරේ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන සමුළුවක් කොළඹ දී පැවැත්වීම නිසා එයට සහභාගී වූ යුනෙස්කෝ අධ්‍යක්‍ෂක ජනරාල් සමඟ සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතියේ සුවිශේෂත්වය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට හැකිවීම නිසා ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඒ වන විට කැබිනට් මණ්ඩලය ද අනුමැතිය ලබා නොතිබූ සංස්කෘතික ත‍්‍රිකෝණය පිළිබඳ යෝජනාව 1978 වසරේ ම යුනෙස්කෝ 8 වන සැසිවාරයේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට රෝලන්ඩ් සිල්වා සහ ආනන්ද ගුරුගේ ගේ කැපවීමෙන් හැකි විය. කෙසේ වෙතත් නැවත රෝලන්ඩ් සිල්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැහැදිලි කර දීමෙන් පසු යුනෙස්කෝ සංවිධානයේ 20 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට කටයුතු යෙදිණ. ඒ අනුව යුනෙස්කෝ සංවිධානයේ ඡන්දය විමසන අවස්ථාවේ ඡායාරූප සහිතව ඉතා විශිෂ්ට අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු වූ හෙයින් කිසිවෙකුත් ඊට විරුද්ධ නොවූයෙන් අනුමත විය.16

1979 වසරේ මාර්තු මස යුනෙස්කෝ සංස්කෘතික උරුමයන් පිළිබඳ අධ්‍යක්‍ෂ එස්.ජේ. ස්ටල්ස් (S.J. Stulz) වැඩසටහන් සම්පාදනයට ශ‍්‍රී ලංකාවට පැමිණි අතර එම වසරේ ම අගෝස්තු මස ප‍්‍රචාරක වැඩසටහනක් උදෙසා විධායක මණ්ඩලයේ අනුමැතිය ලදින් වාර්තාමය වැඩසටහනක් හරහා සාමාජික රටවලින් සංස්කෘතික ත‍්‍රිකෝණයට සහයෝගය ලබා ගැනීමට කටයුතු කෙරිණ. 1980 වසරේ ජනවාරි 1 වන දින යුනෙස්කෝ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් ප‍්‍රචාරක වැඩසටහන් ඇරඹීම අනුරාධපුරයේ දී ද, ඉන් අනතුරුව අගෝස්තු මස මහනුවර දී ද සිදු විය. සමස්ත ක්ෂේත‍්‍ර නැරඹීම පිණිස විදේශීය සංචාරකයන් සඳහා ඩොලර් 10ක ප‍්‍රවේශ පත‍්‍රයක් හඳුන්වා දීම 1979 මාර්තු මස සිදු විය.

සංස්කෘතික ත‍්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහන කාර්යක්‍ෂමව ක‍්‍රියාවට නැඟීම සඳහා අවශ්‍ය කළමනාකරණ ව්‍යූහය 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත (Central Cultural Fund Act No 57 of 1980) හරහා ස්ථාපිත කරන ලදි. මෙම අරමුදලේ පාලක මණ්ඩලය (Board of Governors) අගමැතිවරයාගේ සභාපතීත්වයෙන් සහ සංස්කෘතික, මුදල් සංචාරක, යුනෙස්කෝ සහ හින්දු කටයුතු ඇමැතිවරුන්ගෙන් යුතු ඉතා ප‍්‍රබල නියෝජනයකින් සමන්විත විය. එසේම පුරාවිද්‍යා කොමසාරිස්, අග‍්‍රාමාත්‍ය ලේකම්, සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් ආදී ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පාලක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් විය. ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට අග‍්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාපිත ආයතනයක සභාපති ලෙස කටයුතු කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ ය. ඉතා ශක්තිමත් නෛතික හා ආයතනමය ව්‍යූහයක් ස්ථාපිත කිරීම තුළින් පැහැදිලි වන්නේ එවකට රජය මේ සඳහා ලබා දී තිබූ ප‍්‍රමුඛතාව සහ වැදගත්කමයි. මෙම ශක්තිමත් පදනම ආයතනයේ තිරසාර පැවැත්මට ප‍්‍රබල හේතුවක් විය.17 මධ්‍යම සංස්කෘතික අරමුදල ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත වීම හරහා එතෙක් පුරා ක්ෂේත‍්‍ර සංරක්ෂණය සහ නඩත්තුව සඳහා රජයේ වැය බරට සහනයක් විය. සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතියට සංචාරක ප‍්‍රවේශ පත‍්‍ර අලෙවියෙන්, විදේශාධාර හා දානපතීන් හරහා ලැබෙන අරමුදල් රාජ්‍ය බද්දෙන් නිදහස් කෙරිණ. සංස්කෘතික ත‍්‍රිකෝණයේ ගවේෂණ, කැනීම්, සංරක්‍ෂණ, නඩත්තු ආදී සියලු පුරාවිද්‍යා කටයුතු මෙම මුදලින් ආවරණය විය. රාජ්‍ය වැය බරට සහනයක් උදා කරමින් සංස්කෘතික උරුමයේ සුරක්‍ෂිතතාවත්, සංචාරක ව්‍යාපාරය හරහා ආර්ථික සංවර්ධනයටත් දායක වූ සංස්කෘතික ත‍්‍රිකෝණ සංකල්පය හා මධ්‍යම සංස්කෘතික අරමුදල කාලීනව ජගත් ප‍්‍රජාවට කදිම ආදර්ශමත් ආකෘතිකමය ප‍්‍රවේශයකි.

මේ හරහා එතෙක් ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීමා සහිත ප‍්‍රතිපාදන යටතේ සිදු වූ පුරාවිද්‍යා කටයුතුවල දැවැන්ත වර්ධනයක් කරා ගමන් කිරීමට හැකි විය. මෙම වර්ධනය මගින් ආයතනික, භෞතික, තාක්‍ෂණික හා වෘත්තීමය ආදී සියලු ක්ෂේත‍්‍රවල වර්ධනයක් සඳහා පදනමක් සලසන ලදි. මෙම ව්‍යාපෘතියේ ආයතනමය සංයුතිය ද ඉතා පුළුල් වූවකි. මෙබඳු ආයතන සංයුතියක් ශ‍්‍රී ලංකාවේ උරුම සංරක්‍ෂණයට ප‍්‍රවිෂ්ට වන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ය.

ශ‍්‍රී ලංකාවේ උරුම සැලසුම්කරණ ප‍්‍රවේශ

1946 අංක 13 දරණ නගර හා ග‍්‍රාම නිර්මාණ පනතට (සංශෝධිත 2000 අංක 49) අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී ජාතික භෞතික ප‍්‍රතිපත්ති හා සැලැස්ම සම්පාදිත ය. එහි ප‍්‍රතිපත්තියක් ලෙස නාගරික මධ්‍යස්ථානවල ප‍්‍රජා ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහන් වන අතර ඒ සඳහා උපාය මාර්ග යටතේ ඓතිහාසිකව පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් හඳුනාගත් ගොඩනැඟිලි සංරක්ෂණය කිරීම හඳුනාගෙන ඇති අතර එම පුරාවිද්‍යාත්මක උරුමය සම්බන්ධයෙන් වැදගත් ගොඩනැඟිලි හා ස්මාරක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් කලාපීය හා ප‍්‍රදේශීය සැලසුම් මගින් හඳුනාගත යුතු බව ද සඳහන් වේ.18 මෙය ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක උරුම සංරක්ෂණය ජාතික භෞතික සැලසුම් ප‍්‍රතිපත්තියක් තුළ සඳහන් වූ අවස්ථාවයි. මෙය කිසියම් ආකාරයකට සංවර්ධන ක‍්‍රියාදාම නිසා සිදුවන බලපෑම් පාලනය කිරීමේ යාන්ත‍්‍රණයකි. ජාතික භෞතික සැලසුම් ප‍්‍රතිපත්තියට අනුව නාගරික සංවර්ධන අධිකාරිය හා පළාත් පාලන ආයතන විසින් සැලසුම් සම්පාදනය කෙරේ. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ සැලසුම්කරණ යාන්ත‍්‍රණය තුළ භෞතික, ව්‍යුහාත්මක හා අවකාශීය සැලසුම් ජාතික මට්ටමින් ජාතික භෞතික සැලසුම්කරණ දෙපාර්තමේන්තුව මගින් ද, කලාපීය හා ප‍්‍රදේශීය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය හා පළාත් පාලන ආයතන (ප‍්‍රදේශීය සභා, නගර සභා, මහනගර සභා) යාන්ත‍්‍රණය තුළ බලාත්මක ය. මෙහි දී අපගේ ඇගයීමට ලක්වන සැලසුම් උක්ත ජාතික භෞතික සැලසුම් ප‍්‍රතිපත්තියට අනුව නාගරික සංවර්ධන අධිකාරිය හා පළාත් පාලන ආයතන මගින් සම්පාදිත ය.

ශ‍්‍රී ලංකේය සන්දර්භය තුළ සංස්කෘතික උරුම සැලසුම්කරණය සංකල්පය (Cultural Heritage Planing) වඩා මෑත කාලීන සංකල්පයක් වුවත් නගර සැලසුම් කිරීම, ස්මාරක සංරක්‍ෂණයේ තාක්‍ෂණික අංගයන් ක‍්‍රමවේදාත්මකව සංවර්ධනය වීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් පවතින බව මුලාශ‍්‍රය පරික්‍ෂාවෙන් පැහැදිලි වේ. බටහිර සංකල්පයන්ට අනුව නගර සැලසුම්කරණ ප‍්‍රවේශයන් යටත් විජිත යුගයේ බි‍්‍රතාන්‍යයන් විසින් හඳුන්වා දෙනු ලැබූවත් සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ මීට දශක කීපයකට පෙර ය. එක්දහස් නවසිය හතලියේ දශකය ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු සම්බන්ධයෙන් මෙන් ම උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සම්බන්ධයෙන් විශේෂ සන්ධිස්ථානයකි. එක්දහස් නවසිය හතලියේ පුරාවස්තු ආඥාපනත (Antiquities Ordínance 1940) ප‍්‍රභවය ලැබීමත්, 1942 අනුරාධපුර සංරක්‍ෂණ පනත (The Anuradhapura Preservation Ordinance) හා 1946 නගර හා ග‍්‍රාම නිර්මාණ ආඥාපනත (Town and Country Planning Ordinance) හඳුන්වා දීමත් මගින් නෛතික ප‍්‍රතිපාදන හරහා වෘත්තීමය නගර සැලසුම්කරුවකු විසින් සම්පාදිත 1949 අනුරාධපුර සංරක්‍ෂණ සැලැස්ම (Anuradhapura Preservation Plan) හරහා ශ‍්‍රී ලංකාවේ වැදගත් උරුම ක්‍ෂේත‍්‍ර සංරක්‍ෂණයට හා සංවර්ධනයට පෘථුල සැලසුම්කරණ ප‍්‍රවේශයන් හඳුන්වා දීම ආරම්භ විය. මෙම සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම අනුරාධපුර සංරක්‍ෂණ මණ්ඩලයට පැවරුණි. මීට පූර්ව සමයේ සංරක්‍ෂණ ප‍්‍රයත්නයන් සීමා වී පැවතුණේ තනි ස්මාරක හෝ එවැනි ස්මාරක අවට සීමා සහිත අවකාශයකට ය. එහෙත් අනුරාධපුර සංරක්‍ෂණ සැලැස්මේ ප‍්‍රවේශය වූයේ නටබුන් ස්මාරක මෙන් ම ඊට අනුබද්ධ භූමි ප‍්‍රදේශ රැසක් සමස්තයක් ලෙස ගෙන පෘථුල දෘෂ්ටිකෝණයකින් සංරක්‍ෂණයට මෙන් ම සංවර්ධනයට කටයුතු කිරීම ය. ඒ අනුව 1949 අනුරාධපුර සංරක්‍ෂණ යෝජනා ක‍්‍රමය තුළ අනුරාධපුරය පූජනීය ප‍්‍රදේශය හා මිහින්තලා පූජනීය ප‍්‍රදේශයත් එක් පූජනීය ප‍්‍රදේශයක් ලෙස සලකා කටයුතු කර ඇත. උක්ත සැලැස්මේ ප‍්‍රතිඵලයක් ලෙස පැරණි අනුරාධපුර නගරයට සමීපව ශ‍්‍රී ලංකාවේ පළමු සැලසුම්ගත නව නගරය සැලසුම් වූ අතර ඒ තුළ එතෙක් පූජනීය නගරය තුළ යටත් විජිත අවධියේ සිට ඉදි වූ සහ ස්ථාපිත වූ පූජනීය නගරයට නොගැළපෙන ඉදිකිරීම් හා ක‍්‍රියාකාරකම් ස්ථානගත කරන ලදි. මේ නයින් බලන විට පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාවේ උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය ආරම්භ වන්නේ නගර සංවර්ධන සැලසුම්කරණයේ ම කොටසක් වශයෙන් බවයි.19

මින් අනතුරුව නගර හා ග‍්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව විශේෂයෙන් සුවිසල් ජීවමාන පූජනීය උරුම ක්‍ෂේත‍්‍ර පදනම් කර ගනිමින් පූජා ප‍්‍රදේශ සැලසුම්කරණයට ප‍්‍රවිෂ්ට විය. මෙම ප‍්‍රවේශය හුදෙක් ස්මාරක ප‍්‍රතිසංස්කරණය සඳහා සීමා නොවු අතර පැරණි උරුම ක්‍ෂේත‍්‍ර නව සැලසුම්කරණ ක‍්‍රියාවළින් සමග බද්ධ කිරීමකි. 1978 නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ස්ථාපිත වු නාගරික සංවර්ධන අධිකාරිය ද මෙම ක‍්‍රියාවලියේ දී මහෝපකාරි විය. 1984 අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම්කරණ යෝජනාවලිය (Anuradhapura sacred area planning scheme) සහ මහනුවර දළදා මාලිගාව අවට ප‍්‍රදේශය පූජා නගරයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම උක්ත ක‍්‍රියාදාමයෙහි ආදිත ම ප‍්‍රයත්නයන් ය. අනුරාධපුර පූජා ප‍්‍රදේශය සැලසුම් යෝජනා ක‍්‍රමය නූතන සැලසුම්කරණ මූලධර්ම මත රඳා පවතින අතර එහි අරමුණු හා ප‍්‍රවේශය තුළ තිරසාර සංකල්පයේ ගුණාංග ද ගැබ් වී ඇත. එහි පරමාර්ථ ගත් කල උරුම සංරක්‍ෂණය, පූජනීය නගර පරිසර සංරක්‍ෂණය, සංචාරක පහසුකම් සංවර්ධනය සහ ප‍්‍රාදේශීය ප‍්‍රජා යහසාධනය ප‍්‍රමුඛ කොට සලකා ඇත. එසේම එම සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ දී බහු ආයතනමය ප‍්‍රවේශය අනුගමනය කර ඇති බව පෙනේ. ඒ අනුව, නගර හා ග‍්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ආගමික ප‍්‍රජාව, ප‍්‍රාදේශීය පරිපාලනය, මධ්‍යම සංස්කෘතික අරමුදල ආදී ආයතන ඒකාබද්ධ වී පුරාවිද්‍යා කටයුතු සහ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කිරීම අරමුණු කොට ඇත. මෙකී ලක්‍ෂණ සලකා බැලීමේ දී අනුරාධපුර පූජනීය ප‍්‍රදේශ සැලසුම්කරණ යෝජනාවලිය ශ‍්‍රී ලංකාවේ පැරණි ම ඒකාබද්ධ සංරක්‍ෂණ සැලසුම් ප‍්‍රයත්නයන්ගෙන් සමන්විත වන අතර නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ලෙස ද හැඳින්විය හැකි ය.20

ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම සැලසුම්කරණය

එක්දහස් නවසිය අසූවේ දශකය ශ‍්‍රී ලංකාවේ උරුම සැලසුම්කරණය සම්බන්ධයෙන් විශේෂ සන්ධිස්ථානයකි. එයට හේතුව එතෙක් උරුම සැලසුම්කරණ ක‍්‍රියාදාමයන් හුදෙක් ජාතික මට්ටමේ ප‍්‍රයත්නයන් වූ නමුත් 1980 ජුනි 6 වන දින ශ‍්‍රී ලංකාව නිල වශයෙන් ජගත් උරුම සම්මුතිය පිළිගැනීමෙන් අනතුරුව සංස්කෘතික ත‍්‍රිකෝණයේ ක්‍ෂේත‍්‍ර ජගත් උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ වීම ය. ජගත් උරුම සම්මුතිය අනුව ජගත් උරුම නාම යෝජනා සඳහා ඉල්ලුම් කරන සෑම රාජ්‍යයක් ම අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර ඒ තුළ සංරක්‍ෂණ සැලසුම් සහ සංචාරණ සංවර්ධන සැලසුම් අනිවාර්ය වේ (UNESCO 1972).21 ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සඳහා සංරක්‍ෂණ කටයුතු මෙන් ම සංවර්ධන කටයුතු මෙහෙයවීම සඳහා ද සැලසුම් පැවතිය යුතු විය.

ජගත් උරුම සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වන මෙහෙයුම් නිර්ණායකයකට22 අනුව (Operational guidelines) උරුම ක්‍ෂේත‍්‍ර ජගත් උරුම ලැයිස්තුවේ ඇතුළු කිරීම සඳහා නාමයෝජනා අයදුම්පත සමග අදාළ ක්‍ෂේත‍්‍රයේ සැලසුම්කරණය සහ කළමනාකරණයට අදාළ ලේඛනයන් ඉදිරිපත් කළ යුතු වේ. ජගත් උරුම කමිටුවේ මෙම සැලසුම් අවශ්‍යතාව පිළිබඳ කාරණය නිසා ශ‍්‍රී ලංකාව ජගත් උරුම සඳහා සැලසුම් ජගත් ප‍්‍රමිතීන්ට අනුව සම්පාදනය කිරීම ආරම්භ කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය සැකසිණ.

පෘථුල සැලසුම් ප‍්‍රවේශ තුළින් පූජනීය උරුමයන් සංරක්ෂණය කිරීම පිළිබඳව ශී‍්‍ර ලංකාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. අනුරාධපුර පැරණි නගරය හා සම්බන්ධ උරුම සැලසුම්කරණ ඉතිහාසය තුළ සම්පාදනය වූ හා කි‍්‍රයාත්මක වූ 1949 අනුරාධපුර සංරක්ෂණ සැලැස්ම, 1984 අනුරාධපුර පූජා නගර සැලැස්ම සහ නූතනයේ කි‍්‍රයාත්මක වෙමින් පවත්නා 1999 විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය ආදී සැලසුම් තුළ නගරයේ ආගමික පූජනීයත්වය හා පූජනීය උරුමය සංරක්ෂණය කිරීම ප‍්‍රධාන අරමුණක් වී ඇති බව පැහැදිලි ය. පැරණි නගරයේ පූජනීයත්වය මෑත කාලීනව සැලසුම් ප‍්‍රවේශයක් තුළින් සංරක්ෂණය කිරීමේ ප‍්‍රථම ප‍්‍රයත්නය ලෙස 1942 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද අනුරාධපුර සංරක්ෂණ පනත හා ඉන් අනතුරුව සැකසෙන අනුරාධපුර සංරක්ෂණ සැලැස්ම පෙන්වා දිය හැකි ය. 1940 වන විට යටත් විජිත පාලනය තුළ මුළු පූජනීය ප‍්‍රදේශයම පූජනීයත්වයට නොගැලපෙන පරිදි ජරාජීර්ණ වී සැදැහැවතුන් කම්පා කරවන අයුරින් සමාජ ආර්ථික කි‍්‍රයාකාරකම්වලින් ගහනව පැවති අතර, ඉන් මුදවා ගැනීම අරමුණු කොට පැරණි නගරයෙන් පිටත තදාසන්නව නව නගරය ස්ථාපිත කිරීමට සැලසුම් කොට, 1949 මාර්තු 13 සිට එම සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම ආරම්භ විය. මෙම කටයුතු 1961 අංක 32 දරන අනුරාධපුර සංරක්ෂණ මණ්ඩල පනත මගින් පිහිට වූ 1964 අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය හරහා කි‍්‍රයාත්මක කෙරිණි.23

පූජනීය උරුම ක්ෂේත‍්‍ර සැලසුම් ප‍්‍රවේශයක් තුළින් ආරක්ෂා කිරීමේ දෙ වන ප‍්‍රවේශය වූයේ 1984 අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමයයි.24 මෙම සැලැස්ම තුළින් විශේෂ සැලසුම් ප‍්‍රවේශයක් හරහා පූජනීයත්වය ආරක්ෂා කිරීම උදෙසා සැලසුම් කෙරිණි. සැලසුම්කරණ ඉතිහාසයේ පූජා නගර සැලසුම් (Sacred city plans) පිළිබඳ ප‍්‍රථම වතාවට අසන්නට ලැබෙන්නේ අනුරාධපුර පූජා ප‍්‍රදේශ යෝජනා ක‍්‍රමයත් (Sacred area scheme) සමඟ ය.25 මේ සැලැස්ම තුළ නිරීක්ෂණය වූ විශේෂත්වයක් නම් ස්පර්ශනීය උරුමය නියෝජනය කරන ඓතිහාසික ස්මාරක ආරක්ෂා කිරීමට කටයුතු කිිරීමත්, එහි පූජනීයත්වයට අහිතකර ලෙස බලපාන කි‍්‍රයාකාරකම් පාලනය කිරීමට කටයුතු කිරීම හා ජීවමාන පූජනීය උරුමයේ තිරසාර භාවය උදෙසා සැලැස්ම මගින් සැදැහැවතුන් හා සංචාරකයින් උදෙසා පහසුකම් සම්පාදනයත් ය. පූජනීයත්වය සංරක්ෂණය කිරීමේ සැලසුම් ප‍්‍රවේශයක් ලෙස සැලැස්ම තුළ නව නගරය හා පූජා ප‍්‍රදේශය වෙන් කොට, ඉන් පූජා ප‍්‍රදේශය නැවත පූජනීයත්වයේ සංවේදීත්වය අනුව අතිශයින් පූජනීය සංවේදී කලාපය (Sacred area inner core), මධ්‍ය ප‍්‍රදේශය හා තදානුබද්ධ අන්තර් ප‍්‍රදේශය හා බාහිර ප‍්‍රදේශය (Sacred area outer core) ලෙස බෙදා කේන්ද්‍රීය මධ්‍ය ප‍්‍රදේශය නියෝජනය කරන ඇතුළුනුවර, මහා විහාරය, ජේතවනාරාමය, අභයගිරිය විහාරය, දකුණු දාගැබ සහ මිරිසවැටි විහාරය ඇතුළු කලාපය පූජනීයත්වය ආරක්ෂා කිරීමේ විශේෂ ප‍්‍රතිපත්ති තුළ සංරක්ෂණය කිරීමට සැලසුම් කිරීම වැදගත් වේ.26 එසේ ම අන්තර් හා බාහිර ප‍්‍රදේශය තුළ ද පූජා ප‍්‍රදේශයට ආවේණික නොවන කි‍්‍රයාකාරකම් ඉවත් කිරීමේ ප‍්‍රවේශයක් අනුගමනය කර ඇති අතර ප‍්‍රදේශයේ පූජනීයත්වයට ගැලපෙන කි‍්‍රයාකාරකම් තවදුරටත් පවත්වා ගෙන යාමට කටයුතු කර ඇත.27

එක්දහස් නවසිය අනූවේ දශකය ද ජගත් උරුම සැලසුම්කරණ සම්බන්ධයෙන් වැදගත් වන්නේ උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණයේ ලද අත්දැකීම් මත සැලසුම් ප‍්‍රවේශයන්ගේ ඌනතාවන් සහ ගැටලු හඳුනා ගනිමින් නව සැලසුම් ප‍්‍රවේශ අනුව සැලසුම්කරණය කරනු ලැබීම නිසා ය. 1992 වසරේ නාගරික සංවර්ධන අධිකාරිය සහ මහනුවර මහනගර සභාව එක්ව මහනුවර ජගත් උරුම උපදේශක කමිටුව (World Heritage city of Kandy advisory committee) ස්ථාපිත කළ අතර ඒ තුළින් අපේක්ෂා කළේ උරුම නගරය සංරක්‍ණය කිරීමත් සම කාලීන අවශ්‍යතා සඳහා පෞරාණිකත්වය සහ නූතනය (The old and the new) අතර තුලනයක් සහිතව නගර සංවර්ධනයට ප‍්‍රධාන සැලැස්ම (Master plan) සකස් කිරීමත් ය. විවිධ ගැටලු ආමන්ත‍්‍රණය කිරීමේ අරමුණින් එය බහු විෂයාත්මක ප‍්‍රවේශයකින් සිදු විය.

අනුරාධපුර ජගත් උරුමය සම්බන්ධයෙන් සැලකීමේ දී 90 දශකයේ අගභාගය වන විට පසක් වු යථාර්ථයක් නම් නාගරික සංවර්ධනයට සම්බන්ධ ගැටලු අනුරාධපුර පූජනීය උරුම නගරයට අනවශ්‍ය පීඩනයක් උදාකරන බවයි. මෙය සිදු වූයේ සැලසුම් ප‍්‍රවේශය මඟින් පූජා නගර ප‍්‍රදේශය තදනුබද්ධ ප‍්‍රදේශයෙන් වියුක්ත කොට සංවර්ධනයට සැලසුම් කිරීමේ අත්වැරැද්දෙනි. අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය මගින් බොහෝ විට පූජා නගරයේ භෞතික අංශය වැඩි දියුණු කිරීම පරම අරමුණක් වූ නිසා ඉන් එපිට භෞමික කලාපයේ වර්ධනය වන ගැටලු සහගත තත්ත්වයන්ට හා ඉන් උරුම ක්‍ෂේත‍්‍රයට සිදුවන බලපෑම පාලනය කිරීම සඳහා පෘථුල සැලසුම් ප‍්‍රවේශයක් අවශ්‍ය විය. පූර්ව සැලසුම් මඟින් අනුරාධපුර පූජා නගරය සහ නව නගර ප‍්‍රදේශය පමණක් සංවර්ධනය වීම නිසා අවට ප‍්‍රදේශවලින් අනපේක්‍ෂිත පීඩනයක් එම ආකෂර්ණීය කලාපයට යොමු වන බව හඳුනා ගැනීමට හැකි විය. තත් පීඩනය අවම කිරීමට උපායමාර්ගිකව අවට ප‍්‍රදේශයේ සුළු නගර එනම් චන්‍ද්‍රිකා නගර (Satellite cities) සංවර්ධනය කළ යුතු විය. එය සෘජුව ම උරුම නගරයේ තිරසාරභාවය සඳහා මැදිහත් වීමේ සැලසුම් ප‍්‍රවේශයකි. උක්ත අවශ්‍යතා සහිතව පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය සංශෝධනය කිරීම 1991 වසරේ ආරම්භ කෙරිණ. එහෙත් එම ක‍්‍රියාවලිය සැබෑ ලෙස ම ක‍්‍රියාත්මක වූයේ රජයේ දිසාපතිගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකා කමිටුවක් මගින් 1995 වසරේ දී ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව 1996 වසරේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අතර එහි දී එය අනුමත විය. මේ අනුව අනුරාධපුර සංරක්‍ෂණ යෝජනා ක‍්‍රමය (Anuradhapura Preservation Scheme) සකස් වූ අතර එහි අධීක්‍ෂණ කටයුතු ඉටුකිරීම සඳහා අනුරාධපුර සංරක්‍ෂණ කමිටුව පිහිටුවනු ලැබී ය. ‘අනුරාධපුර සංරක්‍ෂණ යෝජනා ක‍්‍රමය’ නමැති නාමය තුළින් සංවර්ධන දෘෂ්ටිකෝණය අවධාරණය නොවී සංරක්‍ෂණ දෘෂ්ටිකෝණය පමණක් අවධාරණය වන බැවින් එය පසුව ‘විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය’28 (Greater Anuradhapura Development Scheme) ලෙස නම් කෙරිණි. උක්ත සැලැස්මේ ප‍්‍රවේශය තිරසාර සංකල්පය මත පදනම් වී ඇති බව එහි අරමුණු මඟින් ගම්‍ය වේ.29

භෞතික : පූජනීය පරිසරය සංරක්‍ෂණය කිරීම
ආර්ථික : ආර්ථික පදනම පුළුල් කිරීම
සමාජීය : ප‍්‍රජා ආර්ථික මට්ටම නගා සිටුවීම
පාරිසරික : පාරිසරික සමතුලිතතාව පවත්වාගෙන යාම

මේ මඟින් උරුම සැලසුම්කරණය ප‍්‍රාදේශීය සංවර්ධනයේ ම අංගයක් සේ සලකා පුළුල් කලාපීකරණ සැලසුම් ප‍්‍රවේශයක් (Zoning planning approach) හරහා තිරසාර සංවර්ධන සංකල්පය ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස මෙය හඳුනාගත හැකි ය (රූප සටහන 3).

රූප සටහන 3 : උරුම සැලසුම්කරණයේ විවිධ සබඳතා30

උක්ත ප‍්‍රත්‍යෙක්‍ෂණයෙන් පැහැදිලි වන කරුණක් නම් 1980න් පසු දශක කීපය ජගත් උරුම සංකල්පයේ බලපෑම සහ එහි ප‍්‍රායෝගික භාවිතය නිසා ශ‍්‍රී ලංකාවේ උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය, ඒකාබද්ධ, උපායමාර්ගික, තිරසාර, කලාපීකරණ ආදී විවිධ ප‍්‍රවේශ තුළ පිහිටා හුදු භෞතික සංරක්‍ෂණයෙන් ඔබ්බට ගිය සංවර්ධනාත්මක අරමුණු ඔස්සේ දියත් වී ඇති බවකි. නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ අසූවේ දශකයේ ආරම්භය තෙක් වතර්තමාන ජගත් උරුම ක්‍ෂේත‍්‍රයන්ගෙන් සැලැස්මක් පැවතියේ අනුරාධපුර පූජනීය නගරයට පමණි. එහෙත් අසූව දශකයෙන් පසු උරුම සැලසුම්කරණයේ ඇති වු නව ප‍්‍රවණතා හේතුවෙන් වර්තමානය වන විට ජගත් සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍ර පහ සඳහා ම පෘථුල සැලසුම් ප‍්‍රවේශයන්ගෙන් ආවරණය වන සැලසුම් පවතී. ඒවා ජාතික භෞතික සැලසුම්කරණයේ අංගයන් ද වන අතර ඒවා ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු ද පවතී. මෙනයින් බලන කල ජගත් උරුම සංකල්පයේ බලපෑම හේතුවෙන් උරුම සංරක්‍ෂණයේ දී සැලසුම් සහ සැලසුම්කරණයේ අගය හඳුනා ගනිමින් විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය තුළින් අපේක්‍ෂිත ආර්ථික ප‍්‍රතිලාභ මුදුන් පමුණුවා ගැනීම සඳහා මෑත කාලීනව කටයුතු කර ඇති බව පැහැදිලි වනු ඇත.

රූප සටහන 4 : ජාතික, පළාත් හා ප‍්‍රදේශීය මට්ටමින් ජගත් උරුම කළමනාකරණයේ පැවති සංවිධානාත්මක ව්‍යුහය

ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ ගැටලු

ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම කළමනාකරණය සහ කළමනාකරණ ගැටලූ පෘථුල ලෙස නෛතික, ආයතනමය, මූල්‍යමය, වෘත්තිමය, ප‍්‍රජාමය ආදී අංශයන් සමග සම්බන්ධ වී පවතින අතර එම ගැටලු විශේෂ වශයෙන් පහත පරිදි දැක්විය හැකි ය.

  • බහු ආංශික හා බහු ස්තරීභූත සංකීර්ණ ආයතනමය කළමනාකරණ යාන්ත‍්‍රණය සහ සංකීර්ණ නෛතික රාමුව
  • ප‍්‍රතිපාදන හිඟය
  • ආයතනගත ඌන පුහුණු වෘත්තිමය මානව සම්පත් ධාරිතාව
  • ප‍්‍රජා අවබෝධය සහ සහභාගිත්වයේ ඌනතා
  • පසු විපරම් සහ ඇගයීම් ක‍්‍රමවේදවල ඌනතා
  • නෛතික පදනමේ ඌනතා

උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සහ කළමනාකරණය සඳහා ශක්තිමත් නෛතික සහ ආයතනමය යාන්ත‍්‍රණයක අවශ්‍යතාව ජගත් උරුම ප‍්‍රඥප්තිය සහ අයිකොමොස් උරුම කළමනාකරණ ප‍්‍රඥප්තිය මගින් අවධාරණය කර ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සැලකිය යුතු ප‍්‍රමාණවත් නෛතික රාමුවක් හා ආයතනමය ජාලයක් පවතී. ICOMOS ජගත් උරුම ක්‍ෂේත‍්‍ර ඇගයීම් කමිටුව නෛතික රාමුව හෝ ආයතනමය යාන්ත‍්‍රණය ප‍්‍රමාණවත් නොවන බවක් සඳහන් කර ඇත. ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම සැලසුම්කරණය සහ කළමනාකරණය ප‍්‍රධාන වශයෙන් අමාත්‍යංශ හතක් යටතේ පවතින ප‍්‍රධාන ස්වාධීන ආයතන පහක් මඟින් ක‍්‍රියාත්මක වේ (රූප සටහන 4). ශ‍්‍රී ලංකාවේ 1940 පුරාවස්තු ආඥා පනතට (Antiquities Ordinance) අනුව ගොඩබිම සහ සාගරයේ පිහිටි සියලු ම පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර සම්බන්ධව පූර්ණ බලතල පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. 1980 මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාපිත කිරීමෙන් පසු යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ වැඩසටහන ජගත් උරුම ක්‍ෂේත‍්‍ර පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන්නට වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ක්‍ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලට බලය පැවරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව භෞතික සැලසුම් සම්පාදනයෙන් ද, නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කිරීමෙන් හා පලාත් පාලන ආයතන හා ඒකාබද්ධ වී යටිතල පහසුකම් සංවර්ධනයෙන් මෙන් ම කළමනාකරණයෙන් ද සම්බන්ධ වේ. ඒසේ ම ජීවමාන ආගමික ස්ථාන භාරකාර භික්ෂූන් (උදා : අනුරාධපුර අටමස්ථානය, දඹුලු විහාරය, අස්ගිරි මල්වතු උභය විහාර), මහනුවර දළදා මාලිඟාව ගිහි (දියවඩන නිළමේ ප‍්‍රධාන) පැවිදි (මල්වතු අස්ගිරි උභය විහාරීය) කළමනාකරණ යාන්ත‍්‍රණයක් මගින් ද පාලනය වේ.

මේ අයුරින් ජගත් උරුම ක්‍ෂේත‍්‍රයන්ගේ සැලසුම්කරණය සහ කළමනාකරණය රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතන යාන්ත‍්‍රණයන් තුළ ක‍්‍රියාත්මක වීම තුළ සංකීර්ණ ගැටලු නිර්මාණය වී ඇත. ජගත් උරුම ස්ථානවල කටයුතු හැසිරවීම උදෙසා ම ස්ථාපිත ඒකාබද්ධ සහ ස්වාධීන ආයතනයක් නොමැතිවීම හේතුවෙන් උක්ත සංකීර්ණ ආයතන ජාලය අතර අන්තර් සබඳතාව සහ සම්බන්ධීකරණය ඵලදායී හා කාර්යක්ෂම ලෙස සිදු නොවීම හේතුවෙන් උරුමස්ථානයන්ගේ සැලසුම්කරණය සංකීර්ණත්වයට පත් කර ඇත. උරුම ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් තත් ආයතන ජාලයේ වගකීම් නිශ්චිතව නිර්වචනය නොවූ පසුබිමක කටයුතු අතිචඡාදනය වීම හේතුකොටගෙන ආයතන අතර විඝටනාත්මක තත්ත්වයන් මෙන් ම සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රමාදයන් ඇති වීම නොවැළැක්විය හැකි ය.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 154 G (7) අනුව ජාතික වටිනාකමක් සහිත පුරාවිද්‍යාත්මක ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් පළාත් සභාවලට බලතල නොමැති අතර ඒවා මධ්‍යම රජයට අයත් ය.

රූප සටහන 5 : මහනුවර උරුම නගරයේ කළමනාකරණ යාන්ත‍්‍රණය

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සියලු ජගත් උරුම ක්‍ෂේත‍්‍ර මධ්‍යම රජයේ පාලනයට අයත් ය. එහෙත් ප‍්‍රායෝගිකත්වය සැලකීමේ දී උරුම ක්‍ෂේත‍්‍රවල බොහෝ කටයුතු පළාත් පාලන ආයතන (නගර සභා, මහ නගර සභා) හරහා සිදු වේ. නිදසුනක් ලෙස මහනුවර මහ නගර සභාවේ ජගත් උරුම ක්‍ෂේත‍්‍රයේ කළමනාකරණ කටයුතු සම්බන්ධීකරණය අරමුණු කොට ජගත් උරුම අංශයක් (World Heritage Section) පිහිටුවා ඇත.

ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම ක්‍ෂේත‍්‍රවල උක්ත සංකීර්ණ සැලසුම්කරණ සහ කළමනාකරණ ව්‍යුහයන් කෙරෙහි අවධානය යොමු කළ අයිකොමොස් (ICOMOS) ජගත් උරුම ඇගයීම් කමිටුව සීගිරිය, මහනුවර වැනි ක්‍ෂේත‍්‍රවල කළමනාකරණ කටයුතු පහසු කරවනු වස් උරුම පදනම් (Heritage foundation) ස්ථාපිත කිරීමටත් අනුරාධපුර වැනි ක්‍ෂේත‍්‍ර සඳහා උරුම ක්‍ෂේත‍්‍ර කොමිෂන් (Heritage site commission) ස්ථාපිත කිරීමටත් නිර්දේශ කර ඇත.33 උක්ත යාන්ත‍්‍රණ හරහා ඊට සම්බන්ධ සමස්ත ආයතන ජාලය සම්බන්ධීකරණය කිරීම අරමුණයි (එම:82). ඒ අනුව සීගිරිය සහ මහනුවර ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සඳහා උරුම පදනම් (Heritage foundation) ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික පසුබිම් නිර්මාණය කර ඇත. එසේ ම සෑම ක්‍ෂේත‍්‍රයක් සඳහා ම ජගත් උරුම අගයන් සුරැකෙන හා වර්ධනය වන පරිදි කළමනාකරණ සැලසුම් (Management plans) සකස්කර වසර පහකට වරක් ඇගයීමට හා පසු විපරමට ලක් කර රජය වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවට ද නිර්දේශ කර ඇත.34 උරුම ක්‍ෂේත‍්‍ර සම්බන්ධ සැලසුම්කරණ ක‍්‍රියාදාමය සම්බන්ධ ප‍්‍රතිපත්තිමය තීරණ මධ්‍යම රජයේ ආයතන, පළාත් හා ප‍්‍රාදේශීය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත සැලසුම් කමිටු හරහා සිදුවන බැවින් තත් ස්තරීභූත සංකීර්ණ ආයතන යාන්ත‍්‍රණයේ සම්බන්ධීකරණය සංකීර්ණ ව්‍යායාමයකි (රූප සටහන් 4, 5).

උරුම සැලසුම්කරණයට හා කළමනාකරණයට සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වන රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන ලාභ නොලබනවා පමණක් නොව මධ්‍යම රජයේ ප‍්‍රතිපාදන මත යැපීමට ද සිදු වී ඇත. රාජ්‍ය ප‍්‍රතිපාදන මත පමණක් නොයැපී සංස්කෘතික ත‍්‍රිකෝණයේ ජගත් උරුමස්ථානවල උරුම සංරක්‍ෂණ සහ කළමනාකරණ කටයුතු කරගෙන යාම පහසු කරවනු වස් ස්ථාපිත යාන්ත‍්‍රණයක් වන මධ්‍යම සංස්කෘතික අරමුදල උක්ත අර්බුදය සඳහා සැලකිය යුතු විසඳුමක් වුවත්, විශේෂයෙන් විදේශාධාර, සංස්කෘතික ත‍්‍රිකෝණයේ සංචාරක ප‍්‍රවේශපත‍්‍ර ආදායම්, මධ්‍යම රජයේ ප‍්‍රතිපාදන සහ පුද්ගලික පරිත්‍යාග මත යැපෙන මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය දශක තුන තුළ (1981-2011) ප‍්‍රතිපාදන සම්බන්ධ විවිධ අර්බුද වලට මුහුණ පා ඇති බව පැහැදිලි වේ. ඒ සඳහා බලපෑ ප‍්‍රධාන සාධක පහත සඳහන් වේ.

  • සංචාරක පැමිණීම මත මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදයම් තත්ත්වය තීරණය වන බැවින් විවිධ අවස්ථාවල රටේ අස්ථාවර වාතාවරණයන් මත සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම
  • යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය අවසන් වීම නිසා විදේශාධාර සීමා වීම
  • මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති සංඛ්‍යාව සංස්කෘතික ත‍්‍රිකෝණයෙන් පරිබාහිර වෙනත් ප‍්‍රදේශවලට ව්‍යාප්ත වීම
  • ආයතනය මගින් නඩත්තු කළ යුතු සේවක සංඛ්‍යාව වර්ධනය වීම
  • ලද විදේශ ආධාර ඌන පරිභෝජනය
  • විකල්ප මූල්‍ය ප‍්‍රභවයන් හඳුනා නොගැනීම

ජගත් උරුම ක්‍ෂේත‍්‍රවල උරුම සංරක්‍ෂණ හා කළමනාකරණ කටයුතු ක‍්‍රියාත්මක කරන ප‍්‍රධාන අර්ධ රාජ්‍ය ආයතනය වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලයි. එහි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා දේශීය මූල්‍ය ප‍්‍රභව අතර වැඩි ම ආදායම් ගෙන දෙන ප‍්‍රභවය වන්නේ සංචාරක ප‍්‍රවේශපත‍්‍ර අලෙවියයි.35 එය සංස්කෘතික ත‍්‍රිකෝණ සමස්ත ආදායමෙන් 50‍්‍% වූ අතර මෙම ආදායම විවිධ අවිනිශ්චිත සාධක මත තීරණය වී ඇත. වසර කීපයක් හැර (1990, 1991) බොහෝ වසරවල සංස්කෘතික සංචාරක ව්‍යාපාරයෙන් අපේක්‍ෂිත ආදායම් පහත වැටී ඇත.36 1988 වසරේ වාර මධ්‍ය සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිතුමන් වූ අග‍්‍රාමාත්‍යතුමන් ම.සං.අ. ක‍්‍රියාදාමයෙහි දුර්වල ම පුරුක අරමුදල බව ප‍්‍රකාශ කර ඇත. ම.සං.අ. මඟින් සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ කර වසර තුනක් ගත වන විට පසක් වූ යථාර්ථයක් නම් අපේක්‍ෂිත ආදායම සහ ලද ආදායම අතර වූ විශාල පරතරයයි. උදාහරණ ලෙස 1984 රුපියල් දශලක්‍ෂ 84 මුදලක් බලාපොරොත්තු වු නමුත් ලද ආදායම රුපියල් දශලක්‍ෂ 40ක් පමණි. මේ අනුව තත්කාලීනව යෝජිත ආදායම හා සත්‍ය ආදායම අතර පවත්නා අස්ථාවර භාවය නිසා වැඩසටහන් කෙටුම්පත් කිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇත.38 අසූව දශකයේ මුල්භාගයේ මූල්‍ය අර්බුදයේ සංකීර්ණත්වය කෙබඳු වී ද යන්න 1984 වාර්ෂික වාර්තාවේ ටී.එන්. උප‍්‍රයිට් මහතාගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි ය.

“ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දැවැන්ත සංස්කෘතික ත‍්‍රිකෝණ කටයුතුවලට හවුල් වීමට අවස්ථාව ලැබීම යුනෙස්කෝ ආයතනයටත්, එහි නිලධාරීන්ටත් ආඩම්බර කරුණකි… අනාගත වැඩසටහන් වලට අදාළව පෙනෙන්නට ඇති අධෝගාමී මූල්‍ය සම්පත් සම්බන්ධයෙන් ක‍්‍රියාකාරී කණ්ඩායම් බලවත් හැඟීම් ප‍්‍රකාශ කරන ලදි…. ”39

විදේශාධාර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතියේ තිරසාරභාවයට ප‍්‍රබල ගාමක බලවේගයක් විය. තත් ව්‍යාපෘතිය ආරම්භයේ දී ම ගිවිසගත් පරිදි සමස්ත ව්‍යාපෘති වැය ශීර්ෂයෙන් 40‍%ක් ශ‍්‍රී ලංකා රජය ද, 60%ක් යුනෙස්කෝ සංවිධානය හරහා සෙසු රටවලින් ද ලබා ගැනීමට සැලසුම් කරන ලදි. ව්‍යාපෘතිය ක‍්‍රියාත්තමකව පැවති 1980-1996 කාල පරාසය තුළ බොහෝ රටවලින් නේකවිධ (විශේෂඥ උපදේශක සේවා, තාක්‍ෂණික සහය, පුහුණු කිරීම්, උපකරණ) ආධාර ලැබී ඇති අතර, ඉන් අනතුරුව 2001 වසර දක්වා ආධාර ලැබී නැත. 2003-2008 දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්ත රජය, ජපන් ජයිකා (JICA), ජේ.බී.අයි.සී (JBIC) ආයතනය සහ චීන සමූහාණ්ඩුව ලබා දුන් රුපියල් මිලියන 950.7 හැරෙන්නට වෙනත් ආධාර ලැබී නැත.40 එම මුදලින් ද මිලියන 246.6 සීගිරිය කෞතුකාගාර ඉදිකිරීම සඳහා සහ පහසුකම් සංවර්ධනයට හා බටහිර ආරාම ලේඛනගත කිරීම සඳහා හැරුණු විට සෙසු ආධාර ත‍්‍රිකෝණයේ සංරක්ෂණ කටයුතු උරුම සඳහා නොව ඉන් පරිබාහිර ව්‍යාපෘති සඳහා වෙන් විය.

1987, 1988 වසරවල ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව ප‍්‍රබලත ම බිඳ වැටීම එනම් 1982 දී 407,230ක් වූ සංචාරක පැමිණීම 1987, 1988 වසරවල පිළිවෙළින් 182620, 182662 දක්වා අඩු වීම මඟින් සංචාරක ව්‍යාපාරය මත යැපුණු මධ්‍යම සංස්කෘතික අරමුදලට ප‍්‍රබල මූල්‍යමය අර්බුදයකට මුහුණ පෑමට සිදු විය. මේ කාලයේ මුදල් ප‍්‍රශ්නය කෙතරම් උග‍්‍ර වී ද යත් ශ‍්‍රමික බලය පවා අඩකින් අඩු කිරීමට සිදු වූ අතර එය අනර්ථකාරී ලෙස ආයතනයට බලපෑවේ ය.41 මේ කාලයේ දි මූල්‍යමය ආධාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යූ.එස්. ඩොලර් 450,000) එක්සත් රාජධානිය රුපියල් 23,000,000, චීන සමූහාණ්ඩුව යුවාන් 60,000,000 ෆෝඞ් පදනම (යූ.එස්. ඩොලර් 50,000) ලබාදුන් ආධාර හැරෙන්නට සෙසු ආධාර විශේෂඥ සේවා, පුහුණු කිරීම්, උපකරණ සඳහා සීමා වීම තුළ ව්‍යාපෘතිවල වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සහ ශ‍්‍රම බලකාය නඩත්තුව අභියෝගාත්මක විය.

යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කිරීමේ දී එහි අනාගතය සම්බන්ධයෙන් පැවැති අපේක්‍ෂාවක් වූයේ ත‍්‍රිකෝණයේ ජගත් උරුමස්ථාන ජීවමාන සිද්ධස්ථාන ලෙස පවත්වාගෙන යාම සහ ඒවායේ උරුම සම්පත් පදනම්ව පවත්නා වූ විභවතාව නැතහොත් ශක්තිය සංචාරක ව්‍යාපාරය මඟින් ග‍්‍රහණය කර ලාභ ලැබීමෙන් ආයතනයේ තිරසාර ස්වයංපෝෂිත භාවය නඩත්තු කරන අතරතුර එම ලාභයෙන් එබඳු තවත් ව්‍යාපෘති ක‍්‍රියාවට නගමින් එම ව්‍යාපෘති සඳහා ද එබඳු ම ප‍්‍රතිලාභ ලබා දීමෙන් මේ ක‍්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ය. උක්ත දර්ශනයට අනුව පසුකාලීනව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති සංස්කෘතික ත‍්‍රිකෝණයේ ජගත් උරුමස්ථාන සඳහා සීමා නොකොට ත‍්‍රිකෝණ භෞමික කලාපයේ පිහිටි බොහෝ උරුමස්ථාන සංරක්‍ෂණයට හා ඒවා පර්යේෂණයන් සඳහාත් යොමු විය. ත‍්‍රිකෝණ බල ප‍්‍රදේශයට අයත් සෑම අස්සක් මුල්ලක ම ගවේෂණය කිරීම, ඒවායේ යථා තත්ත්වය වටහා ගැනීම සහ අනාගතය උදෙසා වාර්තාකර තැබීම හේතුවෙන් සංස්කෘතික ත‍්‍රිකෝණය ගෙන ඇති පියවර අතිශයින් පුළුල් පරාසයක විහිි දී ගියේ ය. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ අයුරින් සිය පරාසය පුළුල් කළේ තත්කාලීනව ආයතනය සතු වූ මූල්‍යමය හා වෘත්තීමය ශක්තිය පිළිබඳ විශ්වාසයකිනි. එහෙත් පසුකාලීනව මූල්‍යමය වශයෙන් අර්බුදකාරී අවස්ථාවල දී ද සිය වපසරිය ව්‍යාප්ත කිරීමට යාම ආචාර්ය රෝලන්ඩ් සිල්වා සිය “සංස්කෘතික ත‍්‍රිකෝණය” (The cultural triangle international safeguarding campaign) නම් පත‍්‍රිකාවෙන් අනාගතය සම්බන්ධයෙන් පෙන්වා දුන් දර්ශනයට පටහැනි ය. සංස්කෘතික ත‍්‍රිකෝණයේ ජගත් උරුමස්ථානයන්හි සංචාරක ආකර්ෂණය වර්ධනය කරනු පිනිස සැපයිය යුතු පහසුකම් බොහෝ ය. ඒ සඳහා වැය කළ යුතු ප‍්‍රතිපාදන ප‍්‍රමාණය අති විශාල ය. ක්‍ෂේත‍්‍රවල මෙතෙක් සිදු කළ කටයුතුවල උපරිම ඵලය ලබාගත හැක්කේ එවිට ය. මධ්‍යම සංස්කෘතික අරමුදල ලාභ ලබන ස්වයංපෝෂිත ආයතනයක් බවට පත්විය හැක්කේ එවිට ය. යුනෙස්කෝ, ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය අවසන් වී ඇත. ඒ අනුව විදේශාධාර සීමා වී ඇත. යැපීමට සිදුව ඇත්තේ හුදෙක් සංචාරක ව්‍යාපාරය මඟිනි. විකල්ප මූල්‍ය ප‍්‍රභවයන් ද නිර්මාණය වී නොමැති ය. එබඳු පසුබිමක මධ්‍යම සංස්කෘතික අරමුදල සිය ව්‍යාපෘති භෞමික වපසරිය ත‍්‍රිකෝණයෙන් එපිටට පුළුල් කිරීමට යාම මඟින් ආයතනයේ මූල්‍යමය අර්බුදය නොවැළැක්විය හැකි ය. පසුගිය වසර කීපය තුළ ආයතනයේ නඩත්තු කළ යුතු ව්‍යාපෘති සංඛ්‍යාව සහ සේවක සංඛ්‍යාව වර්ධනය වී ඇත. ඒ අනුව ම.සං. අරමුදලේ ස්ථාපිත පරමාර්ථයනට අනුව ප‍්‍රමුඛ කාර්යයක් විය යුතු සංස්කෘතික ත‍්‍රිකෝණ ජගත් උරුම ස්ථානයන්ගේ තිරසාර භාවය ප‍්‍රශ්නාර්ථයකි.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අමතරව සංස්කෘතික ත‍්‍රිකෝණ ජගත් උරුම ක්‍ෂේත‍්‍රවල සැලසුම්කරණ, කළමනාකරණ යාන්ත‍්‍රණය නියෝජනය කරන රාජ්‍ය ආයතන රැසක් පවතී. එකී ආයතන ද ජගත් උරුම ක්‍ෂේත‍්‍රවලට සම්බන්ධ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට යාමේ දී හා සේවා සම්පාදනයේ දී මූල්‍ය අර්බුදවලට මුහුණ දෙනු ලැබේ.

සිතියම 2 : මධ්‍යම සංස්කෘතික අරමුදලේ දීපව්‍යාප්ත ව්‍යාපෘති

සැලසුම් නියමිත කාලවකවානු තුළ ක‍්‍රියාත්මක කීරීමට නොහැකිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ ගැටලූ හරහා තවත් අතිරේක ගැටලූ නිර්මාණය වී ඇත. ජගත් උරුම ක්‍ෂේත‍්‍රවල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම්, නැවත නිර්මිත නව ගම්මාන තුළ පදිංචිකරවීම්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම් ආදී සැලසුම් අංග ක‍්‍රියාත්මක කිරීමට දායක වන නාගරික සංවර්ධන අධිකාරිය, පලාත් සභාව, නගර සභාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ආදී ආයතනවල ප‍්‍රමුඛතාවන්ට අනුව මූල්‍ය අර්බුද හේතුවෙන් සැලසුම් ක‍්‍රියාත්මක වන්නේ මන්දගාමීව ය.

  • 1984 අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලැස්ම
  • 1999 විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය
  • —- දඹුල්ල පූජා නගර සැලැස්ම
  • 1992 පොළොන්නරුව පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය
  • 1992 මහනුවර සංවර්ධන සැලැස්ම
  • 2002 මහනුවර නාගරික සංවර්ධන බදු ප‍්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්ම
    මීට මනා නිදසුන් ය.

ප‍්‍රජා මැදිහත්වීම

උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණයේ දී පුරවැසි සහභාගීත්වය තීරණාත්මක සාධකයකිග නාගරික සන්දර්භයේ සිදු කරනු ලබන සැලසුම් සම්පාදන කි‍්‍රයාවලියේ දී තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා සහභාගී කර ගැනීම සාර්ථකත්වය සඳහා වන උපාය මාර්ගයකි. Arnstein (1996)42 සහභාගීත්ව සංකල්පය මගිින් පෙන්වා දෙන්නේ සැලසුම්කරණ කි‍්‍රයාදාමය සඳහා පුරවැසි සහභාගීත්වය සාර්ථක වන තරමට ව්‍යාපෘතීන්හි හා වැඩසටහන්වල සාර්ථකත්වය රඳා පවතින බවයි.

ක්‍ෂේත‍්‍ර තුළ හා අවට ජීවත් වන ප‍්‍රජාව තත් උරුමයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් පිරිසක් සේ සැලකිය යුතු වුවත් සැලැසුම් තුළ ප‍්‍රජාව පිළිබඳව සඳහන් කර ඇත්තේ මඳ වශයෙනි. ප‍්‍රජාව සැලසුම්කරණ කි‍්‍රයාවලිය තුළ ඉස්මතු වී ඇත්තේ කොටස්කරුවන් පිරිසකට වඩා සැලසුම් කි‍්‍රයාත්මක කිරීම සඳහා පවත්නා ගැටලුවක් ලෙසිනි. නිරන්තරයෙන් ප‍්‍රජාව හා අනවසර පදිංචිකරුවන්, අනවසර ඉදිකිරීම්, නැවත පදිංචි කිරීම් ආදී තේමා සැලසුම පුරා විසිරී පවතී.

සංචාරක කර්මාන්ත සංවර්ධනයේ දී ප‍්‍රාදේශීය ප‍්‍රජාව යන සාධකය පිළිබඳව සැලකීම ප‍්‍රමාණවත් නොවේ. ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා උරුම නගරයේ උරුම සංරක්‍ෂණ හා සංචාරක කර්මාන්තය යොදා ගත යුතු වුවත් ඒ සඳහා වූ යෝජනා ප‍්‍රමාණවත් නොවේ.

උරුම සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය සඳහා ප‍්‍රාදේශීය ප‍්‍රජා මැදිහත්වීම ඌන වීම කෙරෙහි බලපාන ප‍්‍රධාන කරුණක් ලෙස පෙනී යන්නේ ශී‍්‍ර ලංකාවේ පරිපාලන යාන්ත‍්‍රණය හා බැඳුණු ආයතනමය ව්‍යුහයේ ගැටලුකාරීත්වයයි. උදාහරණ ලෙස උරුම සංරක්ෂණ හා කළමනාකරණ සංචාරක සංවර්ධන හා සැලසුම් සම්පාදනයේ දී රාජ්‍ය බලධාරීන් විසින් තීරණ ගැනීමේ ආකල්පය සාමාන්‍ය ප‍්‍රවේශයක් බවට පත් වී ඇත.

අනුරාධපුරය සහ මහනුවර ජගත් පූජනීය නගරයන්හි උරුම සංරක්ෂණයල කළමනාකරණය, සැලසුම්කරණය හා සංචාරක සංවර්ධන කි‍්‍රයාදාමයන්හි දී පරිපාලනමය යාන්ත‍්‍රණය විසින් ප‍්‍රජා සහභාගීත්වය විවිධාකාරයෙන්, එනම් විටෙක හුදු සංකේතාත්මක දැනුම් දීම්, උපදෙස් ලබා ගැනීම්වල සිට අවශ්‍ය පරිදි හැසිරවීම දක්වා යොදා ගෙන ඇත. මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවත්නා රටවල සාමාන්‍ය තත්ත්වයකි. ප‍්‍රජාව සහ බැඳුණු ගැටලුවල දී වඩාත් ම යෝග්‍ය තීරණය ගැනීම ප‍්‍රජාවට නොපවරා ඔවුන් වෙනුවෙන් අවසන් තීරණ ගැනීම සිදු වේ. ප‍්‍රජාවට පවත්නා බල සීමාවන් තුළ උරුම සැලසුම්කරණය හා සම්බන්ධ ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග පිළිබඳ තීරණ ගැනීමේ දී එය හුදු දැනුම් දීමකට පමණක් සීමා වේ.

උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාර සංවර්ධනය සමග බද්ධ වන රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ පවත්නා අභ්‍යන්තරික කි‍්‍රයාවලීන් සඳහා වෘත්තීමය සුදුසුකමක් නොමැති ප‍්‍රාදේශීය ප‍්‍රජාව බද්ධ කර ගැනීම ප‍්‍රතිඵල විරහිත මෙන් ම කාලය අපතේ යැවීමක් සේ සලකන බව පෙනේග රජයේ වර්තමාන උරුම සංරක්ෂණ සැලසුම් ප‍්‍රවේශයන් හා කි‍්‍රයාත්මක කිරීම් විමසා බැලීමේ දී ප‍්‍රාදේශීය ප‍්‍රජාව හා සම්බන්ධතාව අතිශයින් සීමාසහිත වීම කැපී පෙනෙන්නකි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ප‍්‍රාදේශීය රාජ්‍ය ආයතනයන්හි අනම්‍ය දේශපාලනික නිලධාරීවාදී කි‍්‍රයාවලීන් ය. උදාහරණ ලෙස රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් උරුම සම්පත් කළමනාකරණය සඳහා යාන්ත‍්‍රණයක් ලෙස භාවිත කරන්නේ නෛතික අණ පනත් හා ප‍්‍රතිපත්තීන් ය. ඔවුන් විසින් ගනු ලබන තීන්දු තීරණ සඳහා අවශ්‍ය නෛතික ආවරණය මේ මඟින් සැපයේ. ඒ නිසාම ඔවුන් තුළ ප‍්‍රජාව මැදිහත් කර ගැනීම සඳහා ඇත්තේ අතිශයින් ම ඌණ අවශ්‍යතාවකි. එසේ ම ශී‍්‍ර ලංකාවේ නූතන අණපනත්වල ද ප‍්‍රජා මැදිහත්වීම සම්බන්ධයෙන් පවත්නේ අතිශයින් සීමා සහිත අවකාශයකි.

ගැටුම්කාරී තත්වයන් ද ප‍්‍රාදේශීය ප‍්‍රජා මැදිහත්වීම අධෛර්යවත් වීම කෙරෙහි බලපා ඇත. විශේෂයෙන් ජගත් උරුම නගරයන්හි සම්පත්වල අයිතිය සම්බන්ධයෙන් පවත්නේ සංකීර්ණ තත්ත්වයකි. මෙම සංකීර්ණ ආයතනමය යාන්ත‍්‍රණය එක් අරමුණක් වෙනුවෙන් ජාලගත වූ ලෝක උරුම කමිටුව (මහනුවර) හා පූජා නගර සැලසුම් (අනුරාධපුරය) පැවතිය ද ඒ හරහා ප‍්‍රජා මැදිහත්වීම් දිරි ගැන්වීම වෙනුවෙන් සිදු වන කාර්යභාරය අතිශයින් සීමාසහිත ය. එසේ ම තත් කමිටු තුළ ප‍්‍රාදේශීය ප‍්‍රජා නියෝජනය ද සංකේතාත්මක ස්වභාවයක් උසුලයි. මෙම පර්යේෂණය මඟින් පැහැදිලි වූ කරුණක් නම් උරුම සංරක්ෂණයේ දී හා කළමනාකරණයේ දී ප‍්‍රජා සහසම්බන්ධතාව කෙරෙහි බද්ධ වන රාජ්‍ය නිලධාරීන්ගේ පවත්නා ආකල්ප අතිශයින් තීරණාත්මක ලෙස බලපා ඇති බවයි.

ලෝක උරුම සංරක්ෂණය හා සංවර්ධනය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක ආයතන ජාලය උක්ත අරමුණ වෙනුවෙන් ඒකාබද්ධ වූ ආයතන මඟින් ප‍්‍රජාවට ධනාත්මක මෙන් ම ඍණාත්මක බලපෑම් රැසක් මතු වී ඇත. ප‍්‍රජා මැදිහත්වීම් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් සැලකීමේ දී එක් ඍණාත්මක කරුණක් නම් ලෝක උරුම නගරයන්හි ඒකාබද්ධ සැලසුම් ප‍්‍රවේශය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත ‘පූජා නගර කමිිටුව’ (අනුරාධපුර පූජා නගරය), ‘ලෝක උරුම කමිටුව’ (මහනුවර පූජා නගරය) වැනි ආයතන තුළ ප‍්‍රාදේශීය ප‍්‍රජා සහභාගීත්වය හා නියෝජනය දිරි ගන්වා නොමැති වීමයි. මේ සඳහා හේතු වන්නට ඇත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්ති උපාය මාර්ග සම්බන්ධ තාක්ෂණික තීරණ ගැනීමේ කි‍්‍රයාවලියට ප‍්‍රාදේශීය ප‍්‍රජා සහභාගීත්වය යෝග්‍ය හෝ වැදගත් නොවේ ය යනු රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්පය වන බැවිනි. කෙසේ වෙතත් තාක්ෂණික තීරණ මුවාවෙන් රාජ්‍ය ආයතන හා නිලධාරීන් හරහා ප‍්‍රාදේශීය ප‍්‍රජා සහභාගීත්වය යම් ආකාරයකට සීමා කිරීමක් සිදු වී ඇත. නෛතික කි‍්‍රයාදාම සම්බන්ධයෙන් ප‍්‍රජාවට සම්බන්ධ විය නො හැකි වුව ද, ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ ගුණාත්මක ජීවන තත්ත්වය වර්ධනය කෙරෙහි ධනාත්මක ව බලපාන (පසුතල පහසුකම් සැලසුම්කරණය සහ සංවර්ධනය), මාර්ග හා පදික වේදිකා අලුත්වැඩියාව, නවීකරණය හා නැවත ඉදිකිරීම, නාගරික ක්ෂේත‍්‍රයේ සමාජීය අවකාශයන්ල වාණිජ හා විනෝදාත්මක උපයෝගීතාවන් සඳහා නැවත භාවිතය (adaptive reuse) ආදිය සම්බන්ධයෙන් වන සහභාගීත්වය යම් ආකාරයකට සීමා කිරීමක් සිදු වී ඇත. සංරක්ෂණය සම්බන්ධයෙන් තීරණ ගැනීම් කි‍්‍රයාවලිය සඳහා ද ඍජුව සම්බන්ධ වීමේ හැකියාවක් ඔවුන්ට නොමැත.

ප‍්‍රාදේශීය ප‍්‍රජා මැදිහත්වීම සම්බන්ධයෙන් සැලකීමේ දී රාජ්‍ය ආයතන වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, නගර සභාවල නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන සඳහා පවත්නා මූල්‍යමය ප‍්‍රතිපාදන හිඟය ප‍්‍රජා සහභාගීත්වය දිරිගන්වන සුළු අවස්ථා හා කි‍්‍රයාකාරකම් සැලසුම් කිරීම් පිනිස ප‍්‍රබල බාධාවක් වී ඇත.

නෛතික රාමුව හා ඌනතා

ජගත් උරුම ලෙස ප‍්‍රකාශයට පත් කීරීම සඳහා ශක්තිමත් නෛතික හා ආයතනමය රාමුවක් පැවතීම පදනමීය අවශ්‍යතාවකි. පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳ අයිකොමොස් (ICOMOS) ප‍්‍රඥප්තියේ44 3 වන සටහනට අනුව ජගත් උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා ප‍්‍රමාණවත් නෛතික ආවරණයක් පැවතීම පූර්ව අවශ්‍යතාවක් ලෙස අවධාරණය කර ඇත.

දිගු ඉතිහාසයක් සහිත රටක් ලෙස ශ‍්‍රී ලංකාව අතීතයේ පටන් සිය රටේ උරුමය ජාතික මට්ටමින් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර ඇත. ශ‍්‍රී ලාංකේය උරුමය සංරක්ෂණය, ආරක්‍ෂා කිරීම සහ එහි ජීව ගුණය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා ලෝකයේ සෙසු රටවල මෙන් ශී‍්‍ර ලංකාවට ම ආවේණික වූ යාන්ත‍්‍රණයක් පැවති බව සාහිත්‍ය, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයෙන් පැහැදිලි වේ. උරුමයේ තිරසාර බවට මෙම පදනම ද ප‍්‍රබල ගාමක බලවේගයක් විය. විශාල කාල පරාසයක් ආවරණය වන පරිදි එදාමෙදා තුර පැවති නෛතික හා ව්‍යවහාරික රාමුව පුළුල් විවිධත්වයක් සහිත එකකි. උක්ත යාන්ත‍්‍රණයට ප‍්‍රබල අභියෝගයක් එල්ල වන්නේ යටත් විජිත බලපෑමත් සමග ය. ඒ අනුව, යටත්විජිත යුගයට පෙරත්, යටත් විජිත අවධිය තුළත්, පශ්චාද් යටත් විජිත අවධිය තුළත් සිදු වන නෛතික ප‍්‍රවණතා පරිණාමය අතිශයින් සංකීර්ණ ය.

1. පූර්ව යටත්විජිත අවධිය (කි‍්‍ර.ව. 1505 පෙර)
2. යටත්විජිත අවධිය (කි‍්‍ර.ව. 1505-1948 දක්වා)
3. පශ්චාද් යටත්විජිත නිදහස් අවධිය (1948 සිට වර්තමානය දක්වා)

මෙම අධ්‍යනය හුදෙක් ජගත් උරුම පිළිබඳව වන බැවින් මෙහි දී වැඩි අවධානයක් යොමු වන්නේ පශ්චාද් යටත්විජිත, නැතහොත් නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුම සංරක්ෂණය සඳහා නිර්මාණය වූ සහ සැකසුණු අන්‍යෝන්‍ය ලෙස අවියෝජනීය වූ නෛතික හා ආයතනමය රාමුව කෙරෙහි ය.

සංස්කෘතික ත‍්‍රිකෝණය තුළ පිහිටි ජගත් උරුමස්ථානයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සෘජුව හා වක‍්‍රව යොදා ගැනෙන නෛතික ප‍්‍රතිපාදන මාලාවකි. ඒවා ප‍්‍රධාන වශයෙන් පහත සඳහන් පරිදි වේ.

1. ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රතිපත්ති සහ සම්මුති
2. ජාතික මට්ටමේ පනත්
3. ප‍්‍රාදේශීය මට්ටමේ ක්ෂේත‍්‍ර සඳහා වන සුවිශේෂී පනත්

1890 ශී‍්‍ර ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත වීම සිදු වන අතර ඊට වසර තුනකට පෙර එනම් 1887 වසරේ දී නිධන් වස්තු ආඥාපනත (Treasure Trove Act) හඳුන්වා දීම පුරාවස්තු ආරක්ෂා කිරීමේ ආදිත ම යටත් විජිත නෛතික ප‍්‍රයත්නය ලෙස පෙන්වා දිය හැකි ය. මෙම පනත තුළින් පොළොව මතු පිට සහ භූගත චංචල පුරාවස්තු කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සියල්ල බි‍්‍රතාන්‍ය කිරීටය සතු බව පැවසේ.

පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් වඩාත් විධිමත් නෛතික ප‍්‍රතිපාදනයක් ලෙස 1900 කෞතුක වස්තු පනත (Antiquities Ordinance) පෙන්වා දිය හැකි ය. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ස්ථාපිත කිරීමෙන් අනතුරුව ස්ථාපිත ප‍්‍රථම පනතයි. මෙහි පුළුල්ව කෞතුක වස්තු නිර්වචනය කර ඇති අතර එහි දි නිශ්චල හා චංචල වස්තු ලෙස ශිලා ලේඛන පැරණි සිතුවම් හා ලේඛන පල්ලි පන්සල් ස්මාරක හා පැරණි ගොඩනැඟිලි ද අතීත උරුමයන් සේ සලකා ඇත. මේ පනතේ විශේෂ ම කරුණක් වන්නේ පුරාවස්තු සෙවීම සඳහා බලපත‍්‍ර ලබා කැනීම් ක‍්‍රමවේදයන් සංරක්ෂණ කි‍්‍රයාවලියක් හා ක‍්‍රමවේදයන් ප‍්‍රකාශයට පත් කිරීමයි. පුරාවස්තු අපනයනය ද පුරාවිද්‍යා කොමසාරිස් වරයාගේ නිර්දේශය හා ආණ්ඩුකාරවරයාගේ අවසරය මත සිදු විය යුතු බව පවසා ඇත. ප‍්‍රජා සුබසිද්ධිය සඳහා කෞතුකාගාර සඳහා පුරාවස්තු ප‍්‍රදානය කිරීම ද මෙමගින් නීතිගත විය.

නෛතික පැනවීම් වර්ෂය මට්ටම
පුරාවස්තු ආඥා පනත අංක 09 (1940) හා අංක 24 (1956), (1998), (2005) සංශෝධිත පුරාවස්තු ආඥා පනත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික
සංස්කෘතික දේපළ පනත අංක 73 (1988), සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ජාතික
ජාතික වැදගත්කමක් සහිත පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර පනත අංක 16 (1990), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික
නගර හා ග‍්‍රාම නිර්මාණ පනත අංක 13 (1946) හා අංක 49 (2002) සංශෝධිත පනත, නගර සහ ග‍්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව ජාතික
නාගරික සංවර්ධන අධිකාරි පනත අංක 41 (1978), නාගරික සංවර්ධන අධිකාරිය ජාතික
මධ්‍යම සංස්කෘතික අරමුදල පනත  අංක 57 (1980), සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය  ජාතික
සංචාරක මණ්ඩල පනත   අංක 14 (1968), ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය ජාතික
ජාතික පාරිසරික පනත අංක 47 (1980)  ජාතික
විහාර දේවාලගම් පනත අංක 19 (1931)  ජාතික
සත්ව සහ ශාඛ ආරක්ෂණ පනත  අංක 02 (1937), සංශෝධිත අංක 49 (1993)  ජාතික
වාරිමාර්ග ආඥා පනත  අංක 48 (1968), අංක 23 (1983), අංක 13 (1994), වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජාතික
මහනුවර උරුම පදනම් පනත  සකස් වෙමින් පවතී  ක්ෂේත‍්‍ර සුවිශේෂ
මහනුවර නගරසභා පනත අංක 29 (1947)  ක්ෂේත‍්‍ර සුවිශේෂ
අනුරාධපුර අටමස්ථාන පනත 
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්ෂේත‍්‍ර සුවිශේෂ

වගුව 5 : ශී‍්‍රලංකාවේ අනුරාධපුර හා මහනුවර පූජනීය උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය, සංරක්‍ෂණය හා කළමනාකරණයට අදාළ නෛතික හා ආයතනමය රාමුව

ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යා උරුමය සම්බන්ධයෙන් යටත් විජිත පරිපාලනය විසින් ස්ථාපිත ප‍්‍රතිලාභ නෛතික ප‍්‍රතිපාදනය 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතයි (Antiquities Ordinance). පුරාවස්තු බි‍්‍රතාන්‍ය කිරීටය සතු ලෙස සලකා ස්මාරක අතීත ස්මාරක (Ancient monuments) සහ රක්ෂිත ස්මාරක (Protected monuments) ලෙස වර්ග කර ඒවා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර ඇත. ස්මාරක ආශි‍්‍රත භූමි ප‍්‍රදේශ තුළ ඒවාට නො ගැළපෙන භාවිතාවන් හා කි‍්‍රයාකාරකම් පාලනය කිරීම සඳහා මීටර් 400 ඇතුළත භූමිය තහනම් කලාපයක් බවට පත් කර ඇත. එසේ ම 1961 අංක 32 දරන අනුරාධපුර ආරක්ෂණ මණ්ඩල පනත ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික උරුමය සම්බන්ධ ක්ෂේත‍්‍ර සුවිශේෂණ පනතකි. එහි මුඛ්‍ය අරමුණ අනුරාධපුර පැරණි නගරයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්මාරකයන් හා ස්ථාන ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන හඳුන්වා දීමයි. මෙම පනතේ අන්තර්ගත නෛතික ප‍්‍රතිපාදන කි‍්‍රයාත්මක කිරීම සඳහා අනුරාධපුර ආරක්ෂණ මණ්ඩලයට (Anuradhapura preservation board) පවරනු ලැබූ අතර එම මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යභාරයක් වූයේ තත් ප‍්‍රදේශය තුළ පිහිටි ආගමික ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම සහ වන්දනාකරුවන් හා සංචාරක ප‍්‍රජාව සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමත් ය. එසේ ම මේ පනත මගින් මණ්ඩලයට පවරන ලද ඉතාම වැදගත් ම කාරණයක් වූයේ අනුරාධපුර ආගමික ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි අගය නඟා සිටුවීම සඳහා නගරය සංවර්ධනය කිරීම සහ දුගී දුප්පත් ප‍්‍රජාව සඳහා නේවාසික පහසුකම් සැපයීමය. මෙම මණ්ඩලය 1986 වසරේ දී තහනම් කළේ ය.

1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික පනත ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, සංවර්ධනය කිරීම, පර්යේෂණ පැවැත්වීම සහ නඩත්තු කරමින් ඒවා ප‍්‍රජාවට ඉදිරිපත් කිරීම අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන සපයන පනතකි. මෙම පනතට අනුව උක්ත කි‍්‍රයාකාරකම් කි‍්‍රයාත්මක කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල (Central Cultural Fund) නම් වූ ආයතනය කි‍්‍රයා කළ යුතු අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අධීක්ෂණයට ලක් වේ. මේ පනත මගින් මූලිකව අනුරාධපුරය පොළොන්නරුව හා මහනුවර ඇතුළත් සංස්කෘතික ති‍්‍රකෝණයට අවධානය යොමු වූවත් ශී‍්‍ර ලංකාවේ කිනම් ප‍්‍රදේශයක වුව ස්මාරක හා ක්ෂේත‍්‍ර සම්බන්ධව පුරාවිද්‍යාත්මක කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය බලය මේ හරහා ලැබේ. එපමණක් නොව ශී‍්‍ර ලංකාවෙන් පිටත විදේශ රටවල උරුමය සම්බන්ධ කටයුතු සඳහා මැදිහත් වීමට මෙමගින් මඟ පාදා ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයතන හරහා මූල්‍යමය හා මානව සම්පත් ලබා ගැනීමයට අවකාශ ලැබේ.

1988 අංක 73 දරන සංස්කෘතික දේපළ පනත විශේෂයෙන් ශී‍්‍ර ලංකාව සතු චංචල සංස්කෘතික දේපළ (Cultural property) එනම් මූර්තිමය ප‍්‍රතිමා කැටයම් අභිලේඛන සිතුවම් ලේඛන නාණක මැණික් මුද්‍රා ආභරණ ආයුධ ලී බඩු ගෘහාශි‍්‍රත උපකරණ ආදී දෑ සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම, ප‍්‍රතිසංස්කරණය කිරීම හා පරිපාලනය කිරීම සඳහා බලය පවරා ඇත. උක්ත වටිනාකමක් සහිත දේපළ බලපත‍්‍ර රහිත ව අපනයනය කිරීම මෙමගින් පාලනය හා නියාමනය කරන අතර පෞද්ගලික සන්තක සංස්කෘතික දේපළ විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇත්නම් ආරක්ෂා කිරීමට මෙන් ම දේපළ රජයට පවරා ගෙන ආරක්ෂා කිරීමට ද මෙමඟින් බලය පවරා ඇත. සංස්කෘතික දේපළ සම්බන්ධ කි‍්‍රයාකිරීමේ බලය සංස්කෘතික කටයුතු භාර ලේකම්වරයාගේ සභාපතීත්වය සහිත සංස්කෘතික දේපළ මණ්ඩලයට පවරා ඇත.

1994 අංක 7 දරන ගාලු උරුමය පදනම පනත සහ 1998 අංක 62 දරන සීගිරිය උරුමය පදනම පනත සහ මහනුවර උරුමය පදනම පනත ජගත් උරුම ක්ෂේත‍්‍ර විශේෂ පනත් වේග මෙම පදනම පනත් හරහා තත් අද්විතීය උරුම ක්ෂේත‍්‍රයන්හි උරුමය සම්බන්ධ සංරක්ෂණ සංවර්ධන හා ප‍්‍රවර්ධන කටයුතු සඳහා නීතිමය ආවරණය සපයා ඇත.

පුරාවස්තු ආඥාපනත

පුරාවස්තු ආඥා පනත නමින් හැඳින්වෙන ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යා උරුමය පිළිබඳ ආඥා පනත 1940 වසරේ දී 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත ලෙස ද ඉන් අනතුරුව 1956 1998 සහ 2005 වසරවල දී වරින්වර කාලීන සංශෝධනයන්ට ලක්වී ඇත.

මෙම පනත මගින් ශී‍්‍ර ලංකාව තුළ ශී‍්‍ර ලංකාවේ දේශීය මුහුදු සීමාව ඇතුළත ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැඟිලි ස්ථාන හා ඒ ආශි‍්‍රත භූ දර්ශනය ආරක්ෂා කිරීම, ගවේෂණය කිරීම, කැනීම් කිරීම, පර්යේෂණය කිරීම, සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නෛතාක විධිවිධාන සපයා ඇත.

මෙම අධ්‍යයනයට බඳුන්වන උරුම ස්ථානයන් ද්වය ම නාගරික සීමාවන් තුළ පිහිටීම හේතුවෙන් ඒ වෙනුවෙන් සම්පාදනය වන සංවර්ධන සැලසුම් රටේ නගරයක් සඳහා අදාළ වන නෛතික අවශ්‍යතාවන්ට අනුකූල විය යුතු වේ. මේ සම්බන්ධයෙන් සැලකීමේ දී නාගරික සන්දර්භයන්ට අදාළ පනත් දෙකක් ලෙස 1947 අංක 29 දරන නගර සභා පනත (Municipal Ordinance NO 29 of 1947) සහ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත (Urban Development Authority Act No 41 of 1978) වැදගත් වේ. මෙම පනත් ද්වයම අනුරාධපුර පූජනීය නගරය සහ මහනුවර පූජනීය නගරයන්හි භූමි පවරා ගැනීම්, භාවිතාවන්, සංවර්ධනයන් හා කළමනාකරණයන් සම්බන්ධයෙන් වැදගත් වේ. මහනුවර ලෝක උරුම නගරය සම්බන්ධයෙන් ගොඩනැඟිලි සංරක්‍ෂණය සහ සංවර්ධනය කිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා ගොඩනැඟිලි හා සම්බන්ධ රෙගුලාසි (UDA planning & building regulations 1986) අනුගමනය කළ යුතු වේ.

පසුගිය දශක කීපය තුළ ශී‍්‍ර ලංකාවේ උරුම සංරක්ෂණ භාවිතාව තුළ යුරෝපීය න්‍යාය සහ සංකල්පයන් මත යැපීම පැහැදිලිව හඳුනාගත හැකි ය. ශී‍්‍ර ලංකාවේ උරුම සංරක්ෂණ මූලධර්ම සම්පාදනයේ දී සෘජුව ම අන්තර්ජාතික ප‍්‍රඥප්ති සහ ලේඛන කීපයක් භාවිත කර ඇත. ශී‍්‍ර ලංකාවේ උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණය සඳහා වන මූලධර්ම (Principles for the conservation of heritage sites in Sri Lanka) නමැති ලේඛනයේ පූර්විකාවෙහි ඉතා පැහැදිලිව,

  • නාගරික සංරක්ෂණය (Urban conservation)
  • ග‍්‍රාමීය සංරක්ෂණය (Rural conservation)
  • උද්‍යාන සහ භූ දර්ශන සංරක්ෂණය (Garden & Landscape conservation)
  • ස්මාරක සංරක්ෂණය (Monument conservation)
  • අභ්‍යන්තර සංරක්ෂණය (Internal conservation)
  • ගෘහ උපකරණ සංරක්ෂණය (Furniture conservation)

ආදී අංශ සඳහා සංරක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා වැනිස් ප‍්‍රඥප්තිය (Venice Charter 1964)45 බරා ප‍්‍රඥප්තිය (Burra Charter 1984)46 චීනයේ උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණ මූලධර්ම (Principles for the conservation of heritage sites in China 2000)47 ඉන්දියාවේ සංරක්ෂණ අත්පොත (Conservation Manual 1923)48 එක්සත් රාජධානියේ පැරණි ස්මාරක සහ ඓතිහාසික ගොඩනැඟිලි අලුත්වැඩියාව සහ සංරක්ෂණය පිළිබඳ සටහන් (Notes on the repair and preservation of ancient monuments and historic buildings in United Kingdom)49 සහ යුනෙස්කෝ අයිකොමොස් සහ ඉක්රෝම් වැනි ජාත්‍යන්තර ආයතන මගින් නිකුත් කළ ප‍්‍රකාශන මෙන් ම, බර්නාර්ඩ් ෆීල්ඩන් (Bernard Fielden) විසින් රචිත උරුම ගොඩනැඟිලි සංරක්ෂණය (Conservation of heritage buildings)50 නම් කෘතිය ද උපයෝගී කරගත් බව සඳහන් වේ. එසේ ම අනාගතයේ දී ද ශී‍්‍ර ලංකාවේ උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණය සම්බන්ධයෙන් උක්ත ආයතනයන් මඟින් ප‍්‍රකාශයට පත් කරන ප‍්‍රඥප්ති, මූලධර්ම, මාර්ගෝපදේශ මෙන් ම ස්ථාවර නියෝග සහ අදාළ සම්මුති සැලකිල්ලට ගන්නා බව මෙන් ම පිළිගන්නා බවත් ඉතා පැහැදිලිව දැක්වීම තුළ ශී‍්‍ර ලංකාවේ උරුම සංරක්ෂණයේ වර්තමාන මෙන් ම අනාගත පදනම අවියෝජනීය ලෙස ජාත්‍යන්තරය හා බැඳී පවතින බව පැහැදිලි ය.

ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම සංරක්‍ෂණය සඳහා ඒවාට ම විශේෂ වූ නෛතික පනතක් නොමැති අතර පවත්නා නෛතික පනත් තුළින් ම ඒවායේ ආරක්‍ෂාව තහවුරු කර ඇත. දැනට පවත්නා සමස්ත දේශීය නෛතික පැනවීම් තුළ ද ජගත් උරුමයන් සඳහා විශේෂ වූ ප‍්‍රතිපාදන දක්නට නොමැත. ශ‍්‍රී ලංකාවේ ජගත් උරුම ස්ථාන ස්ථාපිත වීමෙන් අනතුරුව 80, 90 දශක වල බොහෝ සංස්කෘතික සහ ස්වාභාවික උරුමයන්ට අදාළ පනත් ස්ථාපිත කිරීම් සහ පැවති පනත් සංශෝධනය කිරීම්, කාලානුරූප කිරීම් සිදු වී ඇතත් ජගත් උරුම ස්ථානයන්ගේ සංරක්‍ෂණයන්ට සහ සංවර්ධනයට බාධා පමුණුවන විශේෂ ගැටලු ආමන්ත‍්‍රණය කිරීම සඳහා පහසුකම් සපයන නෛතික ප‍්‍රතිපාදන නොමැති වීම ප‍්‍රධාන ඌනතාවකි. ජගත් උරුමයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු ආඥා පනතට (Antiquities Ordinance)51 වෙන ම පරිච්ජේදයක් හඳුන්වා දිය යුතු බවට අයිකොමොස් (ICOMOS) සංවිධානය ශ‍්‍රී ලංකාවේ ජගත් උරුමස්ථාන ඇගයීම් වාර්තාවෙන්52 නිර්දේශ කර ඇතත් තත් කාර්යය මේ දක්වා සම්පූර්ණ වී නොමැත. එසේ ම ජගත් උරුම ක්ෂේත‍්‍රවල කළමනාකරණ සැලසුම් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ධනාත්මක සැලසුම්කරණ සහ කළමනාකරණ පදනමක් සහිත පොදු නෛතික පදනමක් පුරාවස්තු ආඥා පනතට අනුව ස්ථාපිත කළ යුතු බවට ද නිර්දේශ කර ඇත.53

පාදක  සටහන්

  1. Van Der Aa., Bart J. M. Preserving the Heritage of Humanity? Obtaining world heritage and the impacts of listing, Netherlands Organisation for Scientific Research, 2005, pp.43.
  2. R. Silva and.Guruge A. W. P.  ‘The Safeguarding of the Cultural Triangle of Sri Lanka: Steady progress and future prospects’, Colombo, Central Cultural Fund, 1995.
  3. ඒ. එස්. ටී. රාජපක්ෂ, ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක, දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළපර්යේෂණ නිබන්ධය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.
  4. එම. 62 පි.
  5. එම. 63 පි.
  6. H.F. Cleere, ‘Introduction: the rationale of archaeological heritage management’, H. F. Cleere (ed.), ArchaeologicalHeritage Management in the Modern World, 1989, London, Unwin Hyman, p.3.
  7. ඒ.එස්.ටී. රාජපක්ෂලශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයකල දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළපර්යේෂණ නිබන්ධයල පේරාදෙණි විශ්වවිද්‍යාලයල 2017, 64 පි.
  8. එම. 64 පි.
  9. එම. 66 පි.
  10. G.Wijesuriya,Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy, 1993, Colombo: ICOMOS, Sri Lanka. Pp. 2-18.
  11. H.M. Bandara,Tourism Planning in Sri Lanka,2003, Pannipitiya, Stamford Lake, p.30.
  12. ඒ.එස්.ටී. රාජපක්ෂලශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයකල දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධය, පේරාදෙණි විශ්වවිද්‍යාලයල 2017, 66 පි.
  13. H.M.Bandara,Tourism Planning in Sri Lanka, 2003, Pannipitiya, Stamford Lake, pp.34-35.
  14. Ibid. pp. 73 – 74.
  15. Silva and Guruge A. W. P.  ‘The Safeguarding of the Cultural Triangle of Sri Lanka:Steady progress and future prospects’, Colombo, Central Cultural Fund, 1995.
  16. ඒ.එස්.ටී. රාජපක්ෂ, ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක, දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළපර්යේෂණ නිබන්ධය, පේරාදෙණි විශ්වවිද්‍යාලයල 2017, 69 පි.
  17. G. Wijesuriya, Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy, 1993, Colombo: ICOMOS, Sri Lanka. P.10.
  18. [1]National Physical Planning Department. 2010,p.40.
  19. ඒ.එස්.ටී. රාජපක්ෂ, ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයකි, දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළපර්යේෂණ නිබන්ධය, පේරාදෙණි විශ්වවිද්‍යාලයල 2017, 115 පි.
  20. එම. 116 පි.
  21. UNESCO, Convention concerning the Protection of the World Cultural and Natural Heritage, Paris, 1972.
  22. UNESCO, Operational Guidelines for the implementation of the world heritage convention.
  23. Sambavana 28-29. m
  24. අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය, නාගරික සංවර්ධන අධිකාරිය, 2008
  25. G. Wijesuriya, Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy, Colombo, ICOMOS Sri Lanka, 1993, p. 76.
  26. අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමයල නාගරික සංවර්ධන අධිකාරිය, 2008, 3-7 පි.
  27. Sambavana 2015/2016 july-december 29
  28. විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය, නාගරික සංවර්ධන අධිකාරීිය, 1999.
  29. ඒ.එස්.ටී. රාජපක්ෂ, ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයකි, දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළපර්යේෂණ නිබන්ධයල පේරාදෙණි විශ්වවිද්‍යාලය, 2017, 117 පි.
  30. එම. 118 පි.
  31. ICOMOS, Report of Mission to Evaluate the State of Conservation of Anuradhapura,Sigiriya and Polonnaruwa, world Heritage Sites in Sri Lanka, 1994, p. 19.
  32. ICOMOS, Report of Mission to Evaluate the State of Conservation of Anuradhapura ,Sigiriya and Polonnaruwa, world Heritage Sites in Sri Lanka, 1994, p. 30.
  33. Ibid.p.22.
  34. Ibid.p.84.
  35. මධ්‍යම සංස්කෘතික අරමුදල, යුනේසකෝ ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකේාණ ව්‍යාපෘතිය, වාර්ෂික වාර්තාව, 1985, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දේපාර්ත්තමේන්තුව.
  36. මධ්‍යම සංස්කෘතික අරමුදල, යුනේසකෝ ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකේාණ ව්‍යාපෘතිය, වාර්ෂික වාර්තාව, 1987, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දේපාර්ත්තමේන්තුව.
  37. මධ්‍යම සංස්කෘතික අරමුදල, යුනේසකෝ ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකේාණ ව්‍යාපෘතිය, වාර්ෂික වාර්තාව, 1988, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දේපාර්ත්තමේන්තුව.
  38. මධ්‍යම සංස්කෘතික අරමුදල, යුනේසකෝ ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකේාණ ව්‍යාපෘතිය, වාර්ෂික වාර්තාව, 1984, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දේපාර්ත්තමේන්තුව.
  39. එම.
  40. Central Cultural Fund, Heritage Achievement, 2007,p.6.
  41. මධ්‍යම සංස්කෘතික අරමුදල, යුනේසකෝ ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකේාණ ව්‍යාපෘතිය, වාර්ෂික වාර්තාව, 1984, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දේපාර්ත්තමේන්තුව.
  42. S. Arnstein, S. ‘A ladder of citizen participation’, Journal of the American Institute of Planners, 1969, 35, pp. 216-224.
  43. ඒ.එස්.ටී. රාජපක්ෂ, ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයකල දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළපර්යේෂණ නිබන්ධයල පේරාදෙණි විශ්වවිද්‍යාලය, 2017, 425-426 පි.
  44. ICOMOS, Charter for the rotection and Management of the Archaeological Heritage, 1990.
  45. ICOMOS, International Charter for the conservation and Restoration of Monuments and Sites, 1964.
  46. ICOMOS The Australia ICOMOS Charter for the Conservation of Places of Cultural Significance, 1979.
  47. ICOMOS, Principles for the conservation of heritage sites in China, 2000.
  48. Conservation Manual, 1923.
  49. Notes on the repair and preservation of ancient monuments and historic buildings in United Kingdom,
  50. B.M. Feilden, Conservation of historic buildings, London, Butterworth, 1982.
  51. Antiquities Ordinance of 1940, Revised edition 1956, Sri Lanka.
  52. ICOMOS, Report of Mission to Evaluate the State of Conservation of Anuradhapura, Sigiriya and Polonnaruwa, world Heritage Sites in Sri Lanka, 1994, p. 22.
  53. Ibid, p. 83.

[මෙම ලිපිය ආරම්භයේ දක්වා ඇතිි සීගිරිය දැක්වෙන ඡායාරූපය https://maketimetoseetheworld.com වෙබ් අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.24 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
--------------------------------------------------------------------------------- 

ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ ඛනිජ සම්පත් පරිහරණය

ඩී.තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ප‍්‍රවේශය

මහාචාර්ය ඩී.තුසිත මැන්දිස්

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විවිධ කාල පරාසවල මානව ජනාවාසකරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ භුමි ප‍්‍රදේශයක් ලෙස ඌව පලාත හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කරන ලද ගිහිපැවිදි විද්වත්හු ශ‍්‍රී ලංකාද්වීපයේ ආදිතම මානව ජනාවාස වීම් සම්බන්ධව ඉතිහාසයේ වැදගත් භූමි ප‍්‍රදේශ ලෙස සළකනු ලැබ ඇත්තේ උතුරු මැද පලාත මුල් කරගත් අනුරාධපුරය හා මාගම මුල් කරගත් තිස්සමහාරාමය ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශ වේ. එම නිසා ශ‍්‍රී ලංකාවේ ආදිතම ඉතිහාසයට අයත් මධ්‍යම කඳුකරය හා ඌව පලාත තුළ වූ ආදිතම ජන පැළපදියම් වීම් හා එහි සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ඉතිහාසය ලියා ඇති ඉපැරණි මූලාශ‍්‍රය ග‍්‍රන්ථ තුළ තොරතුරු අන්තර්ගත වන්නේ මද වශයෙන් නිසා මෙම භූමි ප‍්‍රදේශයේ ආදිතම ඉතිහාසයට අයත් තොරතුරු ආන්තිකකරණයකට ලක්වී තිබේ. විශේෂ භූ රූපණයක් සහිත මධ්‍යම කඳුකරයේ කොටසකට හා අන්තර් මධ්‍යම මෙන්ම වියළි කලාපයට අයත්ව ඌව පලාත පිහිටා තිබේ. මෙම පලාතට අයත් ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක වන්නේ බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්කයන්ය. ඌව පලාත තුළ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මෙම ප‍්‍රදේශවල මුල් ජන පැලපදියම් වීම් හා සම්පත් පරිහරණ ක‍්‍රියාවලියට අදාළ පුරාවිද්‍යා සාධක උතුරු මැද පලාතට වඩා බොහෝ පැරණි වන බව හඳුනාගෙන තිබේ. මෙම රචනය තුළින් සාකච්ඡාවට බඳුන් වන්නේ ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික සංස්කෘතික අවධිවල සිදු වූ මායව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණයේ ඉතිහාසය පිළිබඳවය.

ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා සම්පත් පරිහරණය

ශී‍්‍ර ලංකාවේ සම්භාව්‍ය සාහිත්‍ය මූලාශ‍්‍රය තොරතුරු අනුව ඌව පලාතේ බදුල්ල දිස්ත‍්‍රික්කය හා මොනරාගල දිස්ත‍්‍රික්කයේ කොටසක් ඇතුළු වන්නා වූ මධ්‍ය කඳුකරය පුරාණයේ හඳුන්වා ඇත්තේ මලය, මලය රට්ඨය, මහා මලය රට්ඨය හා මලය මණ්ඩලය යන නම්වලිනි (මව. vii:68; චූව. 70:3-5). සාහිත්‍යය මූලාශ‍්‍රයවල සඳහන් වන ඉහත නාමකරණයන් තුළින් කන්ද, උස්භූමිය යන අරුත දෙන මධ්‍ය කඳුකරය සහස්සවස්තුවේ ගිරිමණ්ඩලය යනුවෙන් හඳුන්වා ඇත. ගිරිමණ්ඩලය යන වචන විමර්ශනය කිරිමෙන් කඳු පද්ධතිය නැතහොත් කඳුකරය ඉන් ගම්‍ය වන අතර මලය යන්න වචනය මලෙයි යන වචනයෙන් බිදී ආ බව තහවුරු කරගත හැකි වේ (සහස්ස 83-94). මූලාශ‍්‍රය බොහෝමයක ම විශේෂ භෞමික පාරසරික කලාපයක් ලෙස හඳුන්වා ඇති මධ්‍ය කඳුකරය එහි පවතින දුෂ්කරතාවන් මතම එම ප‍්‍රදේශයේ ජීවත් වූ ආදිතම ජනයා හඳුන්වා ඇත්තේ පුලින්ද, ව්‍යාධ, මිලක්ඛ, මනුස්ස, උපචරක ආදී වශයෙන් බව සහස්වස්තුවේ වැඩිදුරටත් දක්වා ඇත (එම). මධ්‍යම කඳුකරය ගැන විස්තර කරන චූලවංසය මෙසේ දක්වා ඇත “එය විශාල කඳුවලින් බහුලය, තරණය කිරීමට අපහසුය, රුදුරු සතුන් ජීවත්වන ප‍්‍රදේශයකි. එහි වසන මිනිසුන් පවා බොහෝ දුරට හුදෙකලා ජීවිත ගත කරති. ගමන් කළ හැක්කේ් අඩි පාරවල පමණි, මිණීකන කිඔුලන් හා ජලජ ස්ථාන එහි පිහිටා ඇත” (චූව. 70:3-5). සාහිත්‍යය මූලාශ‍්‍රය තොරතුරුවලට අනුව මධ්‍ය කඳුකරයේ පැවති දුෂ්කරතාවන් හා එහි විසූ ජනතාව වෙනම ජන කොටසක් ලෙස ජීවත් වූ බව ආදිතම ලේඛනගත ඉතිහාසය ඇතුළත් මූලාශ‍්‍රයවලින් පෙන්වා දීමට උත්සාහ ගෙන ඇති බව මේ පිළිබඳ ව විමර්ශනය කිරිමෙන් ද පැහැදිළි වේ.

ඓතිහාසික සම්භාව්‍ය සාහිත්‍ය ලේඛන තුළින් දක්වා තිබෙන මෙම විස්තරවලට අනුව ආන්තිකකරණයට ලක්ව තිබූ මධ්‍යම කඳුකරයට අයත් ඌව පලාතේ සැඟව තිබූ ඉතිහාසය සොයා අධ්‍යයනයන් සිදු වූයේ යටත්විජිත පාලන සමයේ දී හා මෑත භාගයේ දී ය. හුදෙකලා විවේකී ප‍්‍රදේශ ලෙස මූලාශ‍්‍රයවල හඳුන්වා තිබූ ඌව පලාත අන්තර් මධ්‍යම කලාපයට හා ඉතා සුළු කොටසක් තෙත් කලාපයට (ශ‍්‍රී.ල.ජා.සි.ස. 2015:109). අයත්වන අතර එම පලාතේ පුරා මානව ජනාවාසකරණය ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා අවධියේ (Mesolithic Period) සිට ආරම්භව ඉන් පසුව පූර්ව ඓතිහාසික (Proto Historic) හා මුල් ඓතිහාසික (Early Historic) අවධි ඔස්සේ විකාශනය වී ඇති බව මේ වනවිට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ. ආදීතම ජන පැළපදියම් වීම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ඌව පලාත අශ‍්‍රිතව මේ වන විට පුරාවිද්‍යා පර්යේෂණ වඩා පුළුල් ආකාරයට සිදු වී නොමැති නිසා ආදිතම ජන පදිංචි වීම් පිළිබඳව අධ්‍යයනය කළ හැක්කේ මෙතෙක් පර්යේෂණ සිදු කර ඇති ස්ථාන ආශ‍්‍රයෙන් අනාවරණය කරගත් තොරතුරු පදනම් කර ගනිමිනි. ඌව පලාත ආශ‍්‍රිත ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී ජනතාවගේ පදිංචිවීමේ මෝස්තරය දෙස බැලීමේ දී මධ්‍ය ශිලා මිනිසුන් බණ්ඩාරවෙළ හා රාවණා ඇල්ල ප‍්‍රදේශ ආශ‍්‍රිතව විසු බවට තොරතරු යටත්විජිත යුගයේ සිදු කර ඇති පර්යේෂණ තුළින් අනාවරණය කරගෙන තිබේ (Sarasin 1926:78).

යටත්විජිත පාලන යුගයේ දී වේලන්ඩ් (Waland) විසින් සිදු කරන ලද අධ්‍යයනවල දී බණ්ඩාර වෙළ ප‍්‍රදේශයෙන් ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් හමු වූ බව වාර්තා කර තිබේ (ibid). නූන් (Noone) විස්තර කර ඇති ආකාරයට බණ්ඩාරවෙළින් සොයාගත් ශිලා මෙවලම් මධ්‍ය ශිලා යුගයට අයත් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් බව ප‍්‍රකාශ කර ඇති අතර ඒවා පිග්මි මෙවලම් වශයෙන් හඳුන්වා තිබේ (Noone 1945:264). බණ්ඩාරවෙළට නුදුරු රාවණාඇල්ල ගල් ලෙන තුළින් මධ්‍ය ශිලා යුගයට අයත් මානව සාධක මෙන්ම නිල්ගල හා හෙන්නානෙබැද්ද ගල් ගුහාවලින් හා හෝර්ටන්තැන්නෙන් හමු වූ ශිලා මෙවලම් එම මානවයා ඌව පලාතේ සාර්ව භූමිය තුළ සක‍්‍රීය ලෙස ජීවත් වීම පිළිබඳ වාර්තාවන තවත් වැදගත් සාධක වේ (Deraniyagala P.E.P 1958: PL.XXVI, XXVII; Deraniyagala S.U 2004:17). තිරුවානා (Quartz) හා කහද (Chert) යන ඛනිජ පාෂාණ භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම ශිලා මෙවලම් මධ්‍ය ගල් යුගයේ දී එම ප‍්‍රදේශයේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයින් භාවිත කර ඇති බව සිරාන් දැරණියගල පෙන්වා දී තිබේ (Deraniyagala 2004:267). සකස් කිරීම්වලට ලක්කර ඇති තල (Blade) සීරුම් මෙවලම් (Scraper) මෙන් ම තැළුම් උපකරණ (Chopping tool) රාශියක් මෙම ස්ථානවල සිදු කර ඇති කැනීම් හා ගවේෂණ තුළින් වාර්තාවන වන අතර මෙමඟීන් පැහැදිලි වන්නේ ඌව පලාතේ ඛනිජ සම්පත් පරිහරණ ක‍්‍රියාවලිය එහි විසූ මානවයින් ආරම්භ කර ඇත්තේ මධ්‍ය ශිලා යුගයේදී බවය.

ඌව පලාත ආශ‍්‍රයෙන් ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා මානවයින්ට සිය වාසස්ථාන පිහිටුවා ගැනීමේ දී ප‍්‍රදේශයේ ඇති ඛනිජ සම්පත්වල පිහිටීම ද බලපාන්නට ඇත. ඌව පලාත ආශ‍්‍රිතව උස් භූමි සංකීර්ණය (High Land Series) නියොජනය කරන පාෂාණ සංස්ථාව තුළ තිරුවානා (Quartz), මාබල් (Marble), රබස් (Garnet), මිනිරන් (Mica) යන ඛනිජ පාෂාණවල බහුල බවක් දැක ගත හැකිය (Cooray 1984:81-88). තිරුවානා හා කහද පාෂාණ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී අතිශයින් වැදගත් ඛනිජයක් වූයේ ශිලා මෙවලම් නිර්මාණය සඳහා ඒවා භාවිත කරන ලද බැවිනි. එම නිසා බණ්ඩාරවෙළ, බදුල්ල, මස්කෙලිය, රාවණා ඇල්ල හා වැලිමඩ අවට කලාපය තුළ මෙම ඛනිජ පාෂාණ පැවති නිසා ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා මානවයා මෙම ප‍්‍රදේශය තුළ ජීවත් වන්නට සුදුසු භූමි ලෙස තෝරා ගෙන ඇති බව ඇති බව පෙන්වා දිය හැකි ය. එසේම මධ්‍ය ශිලා යුගයේ දී ඛනිජ පාෂාණ ශිලා මෙවලම් නිර්මාණය කිරීමට භාවිත කරන අතරම අලංකරණ හා අභිචාර කටයුතු සඳහා භාවිත කරන ලද ඛනිජ වශයෙන් ගුරුගල් (Red Ocher) භාවිත කර ඇති බව රාවණාඇල්ල ගුහාවෙන් හමු වූ ගුරුගල් ආලේපිත මානව අස්ථි අවශේෂවලින් පැහැදිලි වේ (Deraniyagala 2004:311). සිරාන් දැරණියගල වැඩි දුරටත් පෙන්වා දෙන ආකාරයට ගුරුගල්, ග්රැෆයිට් (Graphite), මිනිරන් සිය අභිචාර කටයුතු සඳහා භාවිත කිරීමේ දී හුවමාරු මාධ්‍ය ඔස්සේ එම සම්පත් පිහිටි ප‍්‍රදේශ තුළින් එම මිනිසුන් ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා අවධියේ දී සිය වාසස්ථාන වෙත රැගෙන විත් භාවිත කරන්නට ඇතැයි පෙන්වා දී තිබේ (ibid:327). මෙම පුරාවිද්‍යා සාධක තුළින් පැහැදිලි වන්නේ ඌව පලාතේ ඛනිජ සම්පත් පරිහරණය ලේඛන ගත තොරතුරුවල අන්තර්ගත නැති තාක්‍ෂණික සංස්කෘතික අවධියක් වන මධ්‍ය ශිලා යුගයේ දී ආරම්භව ඇති බව මින් පැහැදිලි වේ.

පූර්ව ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය

පූර්ව ඉතිහාසය මෙරට සම්භවන යුගය ලෙස සැලකේ. ශ‍්‍රී ලංකාවට ලෝහ තාක්‍ෂණය, සත්ව හා ශාක ගෘහකරණය, ප‍්‍රාථමික ජල කළමනාකරණය, ග‍්‍රාමීය ජනපද, මැටි භාණ්ජ හා පබළු නිෂ්පාදනය ඇතුළු සංස්කෘතිකාංග රාශියක් හඳුන්වා දෙන ලද්දේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය තුළිනි (Senaviratne 1984:237-298). ඌව පලාතේ පුරාණ මානව ජනාවාසකරණය හා සම්පත් පරිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී මීළගට වැදගත් වන්නේ මෙම පුර්ව ඓතිහාසික සංස්කෘතික අවධියයි. ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් පැරණිතම කාලනීර්ණ මේවන විට ලැබී ඇත්තේ බදුල්ල දිස්ත‍්‍රික්කය තුළිනි. රාජ් සෝමදේව විසින් බෙරගල කළුපහණ වත්ත ආශ‍්‍රිතව සිදු කරන ලද කැනීම්වල දී එම ස්ථානයෙන් වාර්තාවන පූර්ව ඓතිහාසික මැටි ඔරු (Clay Canoi) සුසාන ක‍්‍රිස්තු පූර්ව 2400 තරම් පැරණි බවත් දියතලාවට නුදුරු හල්දුම්මුල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් වාර්තා වූ එවැනිම ආකාරයේ මැටි ඔරු සුසාන ක‍්‍රිස්තු පූර්ව 1750 තරම් පැරණි බව පෙන්වාදී ඇත (සෝමදේව 2016:20). මීට අමතරව ඉතා මෑත දී 2018 වර්ෂයේ සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණයක දී මොනරාගල දිස්ත‍්‍රික්කයේ සෙල්ලක්කාඔය නිම්නයේ තිබෙන තවත් පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන සංකීර්ණ කිහිපයක් හඳුනාගෙන තිබේ. එම සුසාන මීයාගල, තල්කොට, කෙසෙල්වත්ත, වෙලන්ගස්මඩ, වැලිපොත, කරගහවෙල යන ස්ථානවල ස්ථානගතව ඇති බව වාර්තා කර තිබේ (බංඩාර දර්ශන සහ තවත් අය 2018:84-94). මෙම ගවේෂණයේ දී පෙන්වා දී ඇති ආකාරයට මැටි ඔරු සුසාන හා ශිලා මංජුසා සුසාන මෙන්ම පූර්ව ඓතිහාසික අවධියට අයත් මානව ජනාවාස සාධක ද පවතික බව හඳුනාගෙන තිබේ (එම). මේ ආශ‍්‍රයෙන් පුරාවිද්‍යා කැනීම් මෙතෙක් සිදු කර කාලනීර්ණ සිදු කර නොමැති නිසා එම ස්ථානවල නිෂ්චිත කාලය හඳුනාගත නොහැකි වේ. නමුත් බදුල්ල දිස්ත‍්‍රික්කයට යාබදව මොනරාගල පිහිටන මෙම සුසාන භූමි අතරින් මැටි ඔරු සුසාන බොහෝ විට හල්දුම්මුල්ල කාලනීර්ණවලට සම කාලීන වන්නට හො ඊට මදක් පසු කාලීන කාලයකට අයත් වන්නට පවතින ඉඩකඩ වැඩි වන්නේ එම සංස්කෘතිය බදුල්ල දිස්ත‍්‍රික්කයේ බෙරගල කළු පහණ වත්තේ හා හල්දුම්මුල්ලේ ආරම්භයේ දී මුල් බැස පැවතියේ නම් ජනරේඛනයේ ප‍්‍රසාරණය හා සම්පත්වලට පවතින ඉල්ලුම නිසා ඊට සම කාලීනව හෝ පසු කලක දී පහළ කඳුකර කලාපයට පැමිණෙන්නට පවතින ඉඩ ප‍්‍රස්ථාව වැඩි බැවිනි.

මධ්‍යම කඳුකර ප‍්‍රදේශවල පූර්ව ඓතිහාසික යුගයේ වාසස්ථාන පිහිටුවා ගනු ලබන්නේ එම ප‍්‍රදේශවල ඇති ඛනිජ සම්පත් හා කුළුබඩු අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව සඳහා බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත. කඳුකර කලාපයේ හා වියලි කලාපයේ ජීවත් වූ පූර්ව ඓතිහාසික ජනපදිකයින්ගේ අවශ්‍යතා සඳහා ඛනිජ හා කුළුබඩු ලබා ගැනීම සඳහා එම ජන පිරිස් අතර හුවමාරුව සිදු වී ප‍්‍රදේශ දෙකක් අතර හෝ ප‍්‍රදේශ ගණනාවක් අතර සිදු වී ඇති බවට පුරාවිද්‍යා සාධක තිබේ (Senavirathne 1996:285). කඳුකර කලාපය තුළ පිහිටන්නා වූ ඛනිජ සම්පත් වන තිරුවානා, මිනිරන්, මැණික් වර්ග, තඔ මෙන්ම විවිධ කුළු බඩු වර්ග සඳහා මෙම යුගයේ විශේෂ ඉල්ලුමක් පැවති අතර එම ඉල්ලුම කරන කොට ගෙන මෙම ප‍්‍රදේශ වෙත පූර්ව ඓතිහාසික මිනිසුන් බොහෝ විට ආකර්ෂණය වී පදිංචි වීම සිදු වී තිබේ. ආර්ථික සිද්ධාන්ත අනුව ද ඉල්ලුමේ ඇතිවන වෙනස්කම් මත විවිධ භාණ්ඩ සඳහා පවතින කාර්යබද්ධ වටිනාකම සාපේක්‍ෂ ලෙස වෙනස් වේ. පූර්ව ඓතිහාසික අවධියේ දී ද මෙම තත්ත්වය ඛනිජ පාෂාණ ඇසුරින් හඳුනාගත හැකි අතර ශී‍්‍ර ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියේ සම්පත් පරිහරණ සම්බන්ධව සිදු කරන ලද අධ්‍යයන තුළින් ඔවුන්ගේ ජනපද තුළ හා සුසාන තුළින් කඳුකරයේ සම්භවය ලබන, තිරුවානා, රබහ, ඇමතෙස්ත ආදී ඛනිජ පාෂාණ ලැබීම තුළින් එම යුගයේ දී එම ඛනිජ සඳහා විශේෂ ඉල්ලුමක් වියළි කලාපයේ පැවති බව පැහැදිළි වේ. එම ඉල්ලුමට අවශ්‍ය කරන සැපයුම එවකට ලබා දී ඇත්තේ කඳුකර කලාප තුළ ජීවත් වූ පූර්ව ඓතිහාසික ජනාවාසවලිනි.

ඌව පලාතේ දැකිය හැකි විශේෂ ඛනිජ වන මාබල්, බදුල්ල හා වැලිමඩ ප‍්‍රදේශ ආශ‍්‍රිතව ද රබහ හා තිරුවානා බණ්ඩාරවෙළ හා වැලිමඩ ආශ‍්‍රිතව ද මැණික් වර්ග වන කොරන්ඩම්, දියමන්ති, ඩයොප්සයිඞ්, ඒකනයිට්, හිබෙනයිට්, ස්පීන්, කිරිංචි, ටැෆයිට්, තෝරමල්ලි, ජාගූන් ඔක්කම්පිටිය, කතරගම, මොනරාගල, වැල්ලවාය, බදුල්ල, බිබිල ආදී ප‍්‍රදේශවල ද මිනිරන්, මාරිආරාව, උල්විට, උඩුමුල්ල ප‍්‍රදේශවල ද පෙල්ස්ෆාර් (Feldspar), ස්පටික හුණු ගල් (Dolamite) බිබිල හා බදුල්ල අතර ප‍්‍රදේශවල ද මැග්නටයිට් යපස් (Magnetite) කරමැටිය හා බුත්තල ප‍්‍රදේශවල ද පිහිටා තිබේ (Cooray 1984:81-88; ශ‍්‍රී.ල.ජා.සි.ස 2015:35,161). ඛනිජ වර්ග හා කුළු බඩු වර්ග අතර ගම්මිරිස් බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්ක තුළ බහුලව තිබේ. පුරාණ හුවමාරු රටාව ඔස්සේ ඉහළ කඳුකර කලාපයේ තිබූ මෙම ඛනිජ වර්ග හා කුළු බඩු වර්ග පුර්ව ඓතිහාසික යුගයේ ජනපද අතර පුරාණ මාර්ග ඔස්සේ පහළ කඳුකර කලාපයේ පැවති පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස වෙත පැමිණ ඉන් අනතුරුව වියළි කලාපයේ හා අනෙකුත් භෞමික ඛණ්ඩවල ස්ථානගතව තිබූ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස වෙත ඇදී එන්නට ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී තිබේ (Senavirathne 1996:189). මෙම තත්වය වැඩිදුරටත් ඉතා හොඳින් හඳුනාගත හැක්කේ අනුරාධපුර ඇතළුපුරයේ සිදු කර ඇති පුරාවිද්‍යා කැනීම් තුළිනි. එම කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 500ට පසු ජනාවාස ස්ථරවල තිබී මධ්‍ය කඳුකරයේ සම්භවය ලබන ඉහත සඳහන් කරන ඛනිජ පාෂාණ වර්ග අතරින් බොහෝ ප‍්‍රමාණයක ඛනිජ පාෂාණ බහුල ලෙස භාවිත කර ඇති බව පුරාණ සම්පත් පරිහරණයට අදාළව සිදු කර ඇති අධ්‍යයන තුළින් හඳුනාගෙන තිබේ (Deraniyagala 1972). ඒ අනුව ඉහළ කඳුකර කලාපයේ හා ඊට ආසන්න ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව කඳුකර කලාපයේ සිට අනුරාධපුරය දක්වා ම මෙවැනි ඛනිජ වර්ග බෙදා හැර ඇත්තේ අන්තර් හුමරමාරු ස්ථාන වන කඩ හෝ කඩක මෙන්ම කණ්ඩ යන හුවමාරු හෝ වෙළෙඳ ස්ථානවල සිට බව පුරාවිද්‍යා කැනීම් තුළින් හඳුනාගෙන ඇති සාධක තුළින් පැහැදිළි වී ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත.

පූර්ව ඓතිහාසික සංස්කෘතක පිරිස්ි භාවිත කරන ලද ප‍්‍රධානතම ඛනිජයක් වන්නේ ලෝහ සම්පත්ය. ලෝහ තාක්‍ෂණය පූර්ව ඓතිහාසික සංස්කෘතියේ තාක්‍ෂණික පැතිකඩේ විශේෂතම අංගය වේ. ශී‍්‍ර ලංකාවේ පුර්ව ඓතිහාසික යුගයේ ක‍්‍රිස්තු පූර්ව 900 දී ලෝහ භාවිතයට අදාළ ලිමොනයිට් ඛනිජ භාවිතය සම්බන්ධයෙන් අනුරාධපුර ඇතුළුපුරයෙන් තොරතුරු වාර්තා වි තිබේ (Deraniyagala 1972:152-155). මැග්නටයිට් යපස් භාවිතය සම්බන්ධයෙන් තොරතුරු පූර්ව ඓතිහාසික යුගයට අදාළව විලගෙදර හා පණිරෙන්ඩාවෙන් ද වාර්තා වී තිබේ (Seneviratne 1985:141). එසේම මැග්නටයිටට් ලෝහ නිෂ්පාදන ක‍්‍රියාවලියට අදාළව සාධක සීගිරියට නුදුරු අලකොළ වැව (Solangaarchchi 1990:175,207) හා ඇඹිලිපිටියට නුසුරු සමනළවැව ආශ‍්‍රිතව ද වාර්තා වී ඇත (Jullef 1988). පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම තාක්‍ෂණික පරිවර්තනය ප‍්‍රධාන සම්පත් කලාප දෙකක් ඔස්සේ සිදු වී තිබේ. එහි ප‍්‍රධාන සම්පත් කලාප වශයෙන් ඊසාන දිග මධ්‍ය කඳුකරය එක් කලාපයකටත් බලංගොඩ හා පණිරෙන්ඩාව අයත් අන්තර් මධ්‍යම කලාපය අනෙක් කලාපයටත් අයත් වේ (Thathilage.et.al 2015:14). ඌව පලාතට අයත් මැග්නටයිට් යපස් නිධි මොනරාගල දිස්ත‍්‍රික්කයේ බුත්තල හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ කරමැටිය ප‍්‍රදේශයේ පිහිටා තිබේ (Thathilage.et.al. 2015:27, ශ‍්‍රී.ල.ජා.සිි.ස 2015:35). බුත්තල කුකුරම්පොළ ප‍්‍රදේශයේ මතුපිට මට්ටමේ මෙම මැග්නයිට් නිධිය පිහිටා තිබේ (Kalubandara 2006: 1-3). මෙම මැග්නටයිට් යපස් නිධිය පූර්ව ඓතිහාසික අවධියේ සෙල්ලක්කා ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ නිවැසි ජන පිරිස් විසින් භාවිත කරන්නට ඇති බව උපකල්පනය කළ හැක්කේ විලගෙදර, පණිරෙන්ඩාව හා සේරුවිල පිහිටන මැග්නටයිට් නිධි පූර්ව ඓතිහාසික යුගයේ ජනතාව ක‍්‍රිස්තු පූර්ව 600 – 500 කාලවල දී භාවිත කළ බවට සාධක පර්යේෂණවලින් තහවුරු වී තබෙන බැවිනි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ බෙරගල කළුපහණවත්ත හා හල්දුම්මුල්ල පූර්ව ඓතිහාසික ස්ථාන ස්ථානගත වීම සඳහා කරමැටිය මැග්නටයිට් යපස් නිධිය බලපාන්නට ඇති බව පෙන්වා දිය හැකි අතරම එම යුගයේ ජීවත් වූ ජනපිරිස එම නිධිය පරිහරණය කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. ඒ අනුව පූර්ව ඓතිහාසික යුගයේ ඛනිජ සම්පත් පරිහරණයේ විශේෂත්වයක් ඌව පලාත ඇසුරින් සිදු වී ඇති බව මෙම පුරාවිද්‍යා තොරතුරු අනුව පෙන්වා දිය හැකිය.

මුල් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය

ඌව පලාතේ පුරාණ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී මීළගට වැදගත් වන්නේ මුල් ඓතිහාසික (Early historic) සංස්කෘතික අවධියයි. ක‍්‍රිස්තු පූර්ව 300 ක‍්‍රිස්තු වර්ෂ 100 අතර කාලයට අයත් වන මුල් ඓතිහාසික අවධියේ දී ඌව පලාත තුළ විශාල ලෙස මානව ජනාවාසකරණයක් සිදු වී ඇති බව පෙනේ. ඒ බව ගල්කොටුව, කෝන්කැටිය, කෝමාරිකාගල, මොනරාගල රජමහා විහාර, වලියායා, මඩුගස්මුල්ල, ගලබැද්ද, වැලඑල්ලූගොඩකන්ද, නාවගල, කොල්ලදණිය, හයින්තියාව, මානානහෙළ, නාමළුව, බුද්දම, මාවරගල, මැටිගහතැන්න, කහටඅතුහෙළ, ඔලගත්ගල, බෝගොඩ රජමහා විහාර, ඇතිලිවාව, බලහුරුකන්ද, සීමාපහුර ආදි ස්ථාන ඇසුරින් ඇති අභිලේඛන තුළින් පැහැදිළි වේ (Ic. Vol. I.:53-58). මෙම සංස්කෘතික පරිවර්තන අවධිය පිළිබඳව අදහස් දක්වා ඇති විද්වතුන් පෙන්වා දී ඇත්තේ මුල් ඓතිහාසික යුගය යනු පූර්ව ඓතිහාසික අවධියෙන් සම්භවය ලැබූ එම සංස්කෘතියේම වඩා දියුණු ප‍්‍රහිච්ජින්න පැතිකඩක් වන බව ය. එනම් පූර්ව ඓතිහාසික අවධිය හා මුල් ඓත්හාසික අවධිය නියෝජනය වන්නේ එකම ජන කණ්ඩායමකින් වන බව ය. ඉහත සඳහන් ස්ථාන ඇසුරින් වාර්තාවන ශිලා ලිපි ඇසුරින් මුල් ඓතිහාසික අවධියේ ජන කණ්ඩායම් සිදු කළ නිෂ්පාදන ක‍්‍රියාවලිය හා සම්පත් භාවිතය, හුවමාරු හා බෙදාහැරීම් ක‍්‍රියාවලිය පිළිබඳව මෙන්ම සමාජ තත්වය පිළිබඳ සාධක පවතින බව පැහැදිළි වේ. තාක්‍ෂණයේ හා අක්‍ෂර භාවිතයේ පැවැති නිපුණතාව නිසා මෙම යුගයේ තොරතුරු ඉතා හොඳින් හඳුනාගත හැකිව තිබේ. ඌව පලාත ඇසුරින් වාර්තාවන සමාජ තත්වය අනුව ප‍්‍රාදේශීය නායකත්වයක් එම ක‍්‍රියාත්මක වූ බවට තොරතුරු තිබේ. වැලඑල්ලූකන්ද හා කොල්ලදෙණිය ප‍්‍රදේශවල පිහිටුවා ඇති මුල් බ‍්‍රාහ්මී අභිලේඛනවල සේනාපති පරුමක පුස්සදේව හා ඔහුගේ පරපුර පිළිබඳව සඳහන් වේ (Ic.vol.i: No.724,725,736). එම ශිලා ලේඛන අනුව දුටුගැමුණු රජුගේ හමුදාවේ සේනාපතියකු වූ පුස්සදේව හා ඔහුට සම්බන්ධ පරපුර ඌව පලාතට අයත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ් විසූ බව වාර්තා වීම තුළින් ඔවුන් එම ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් යම් ආකාරයක පරිපාලන බලයක් ක‍්‍රියාත්මක කරන්නට ඇති බව උපකල්පනය කල හැකිය. පරුමකවරු සම්බන්ධ විමර්ශනයක් සිදු කර ඇති ආර්.ඒ.එල්.එච්. ගුණවර්ධන බ‍්‍රාහ්මී අභිලේඛන පරීක්ෂා කොට බලා ශ‍්‍රී ලංකාවේ දැකගත හැකි ගමණි, පරුමක, ගපති වැනි තනතුරු තුළින් සමාජ ශ්‍රේණිගත වීමක් පෙන්නුම් කරන අතර එම තනතුරුවලින් සමාජ දේශපාලන තත්ත්වය හඳුනාගත හැකි බව ද පෙන්වා දී ඇත (Gunawardena 1981:70-88). පරුමකවරුන්ගේ සමාජ දේශපාලන ශ්‍රේණිගත වීම භික්ෂූන්ට පිදූ ලෙන් ලිපිවල සඳහන් නාමයන්ගෙන් තහවුරු වන අතර එයින් 28%ක් පමණ ප‍්‍රදාන පරුමකවරුන්ට අයත් වන බැවින් ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ප‍්‍රබල ස්ථානයක පැවති බව හඳුනාගැනීමට හැකිය. ඒ අනුව පරුමකවරු වංශ ප‍්‍රධානීන් (Head of the clan group) හෝ ප‍්‍රධානීන් (Chief) ලෙස මුල් ඓතිහාසික අවධියේ කටයුතු කරන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත (ibid:27).

මුල් ඓතිහාසික අවධිය වන විට මොනරාගල හා අවට කලාපයේ පරුමක වරුන්ගේ වැඩි ඝණත්වයක් පෙන්වන අතර එමඟින් ප‍්‍රාදේශීය නායකත්වය යටතේ යම් ආකාරයකට පාලනයක් එම ප‍්‍රදේශයේ බිහිව තිබූ බව මෙම ශිලා ලේඛනවලින් පැහැදිළි වේ. එසේම මඩුගස්මුල්ල, බුද්දම හා මාවරගල මුල් බ‍්‍රාහ්මී සෙල්ලිපිවල ගමිකවරුන් පිළබඳව සඳහන් වේ. මුල් ඓතිහාසික යුගයේ දී ගම් ප‍්‍රධානීන් හැඳින්වීම සඳහා ගමණි විරුධය භාවිත කර ඇති බව පෙන්වාදෙන ලක්‍ෂ්මන් එස්. පෙරේරා පැහැදිලි කරනු ලබන්නේ ගමණි වරුන්ගේ තත්වය උසස්වීම සමඟ එම ස්ථානයට ගමිකවරු පත් වන්නට ඇති බව හා ඔවුන් ගම් ප‍්‍රධානීන් ලෙස ඉන් පසු කටයුතු කරන්නට ඇති බවය (Perera 1962:241-248). මෙයට අමතරව බත, ගපති, රජ, ආදී ජන කණ්ඩායම්වල ක‍්‍රියාකාරිත්වය දමෙම ප‍්‍රාදේශීය පාලන ව්‍යුහ සැකසීම තුළ සිදු වී තිබෙන බව ඌව පලාතේ ස්ථානගතව ඇති ශිලා ලිපි තුළින් පැහැදිලි වේ (Ic.Vol.I.:53-58).

මේ ආකාරයට සැකසුණු සමාජ ක‍්‍රමය තුළ මුල් ඓතිහාසික අවධියේ දී ඌව පලාතේ ස්වභාවික සම්පත් අත්පත් කරගැනීමේ කාර්යය හා පරිහරණය කිරීමේ වැදගත්කම විමර්ශනය කිරීමේ දී විශේෂයෙන් පහත් කඳුකර කලාප හා තැනිතලා භූමි කෘෂි කාර්මික කටයුතු සඳහා වඩාත් යෝග්‍ය භූමි වූ නිසා පූර්ව ඓතිහාසික අවධියේ දී මෙන්ම මුල් ඓතිහාසික අවධියේ දී ද එම භූමි යෝග්‍ය වී ඇත්තේ කෘෂි කටයුතු සඳහාය. නමුත් එම කාල පරාසය තුළම මොනරාගල හා තදාශ‍්‍රිත ඌව පලාතට අයත් කඳුකර කලාපය වැදගත් වී ඇත්තේ කෘෂි කටයුතු සඳහා පමණක් නොව ඛනිජ සම්පත් සඳහා බව මුල් බ‍්‍රාහ්මී අභිලේඛනවලින් පැහැදිළි වේ. මඩුගස්මුල්ල ශිලා ලේඛනයක සඳහක් වන කබර යන නාමය (ibid: 720) තුළින් යකඩකරුවන් ස්ථානගතව සිටි බව පෙනේ. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට කබර යන්නේන යකඩ කරුවන් ගම්‍ය වේ (Senaviratne 1995). මුල් ඓතිහාසික සමය වන විට විශේෂ ප‍්‍රාගුණ්‍යතාවක් සහිත ලෝකුරුවන් මොනරාගල අවට ප‍්‍රදේශයේ මුල් බැස ගනු ලබන්නේ බුත්තල කුකුරම්පොළ ප‍්‍රදේශයේ පිහිටන මැග්නටයිට් යපස් නිධිය පදනම් කරගෙන එහි පවතින සම්පත් පරිහරණය කිරීමේ අවශ්‍යතාව නිසා බව පෙන්වාදිය හැකිය. එසේම මාවරගල ලිපියේ පරුමක තම්බ-තිස්ස යන පුද්ගලයෙකු ගැන සඳහන් වේ (ibid:750). තම්බ යන්න මඟින් තඔ ගම්‍ය වේ. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට සේරුවිල ප‍්‍රදේශයට දකුණු දෙසින් හමුවන මුල් බ‍්‍රාහ්මී සෙල්ලිපියක ද පරුමක නායක තඔර වෙළ යන්න තුළින් එම ප‍්‍රදේශයේ නිධිගතව තිබූ තඹ අත්පත් කරගැනීම හා එම කර්මාන්තයේ නියුතු නායකයකු එමඟින් හැඳින්වෙන බව පෙන්වා දී තිබේ (Senavirathne 1989:115). එසේ නම් මාවරගල ලිපියේ සඳහන් තම්බ තිස්ස යන්න මඟින් ඌව පලාතේ තඹ කර්මාන්තයේ නියුතු පුද්ගලයකු හෝ බුත්තල කුකුරම්පොළ තිබූ මැග්නටයිට් යපස් නිධියේ ලෝහ අත්පත් කරගත් පුද්ගලයක් ඉන් ගම්‍ය විය හැකි අතරම ඔහු පරුමක පෙළපත දැරීම තුළින් එම කර්මාන්තයේ ප‍්‍රමුඛත්වයක් ගත් අයෙකු විය හැකි බව ද පෙන්වා දිය හැකිය. ජනගහනය වර්ධනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් කෘෂි කර්මාන්තය හා ගෘහ කර්මාන්ත සඳහා යකඩවලට වූ ඉල්ලුම වැඩි වන්නට ඇති අතර ඒ නිසා එම ශිල්ප කර්මාන්තය ආශ‍්‍රිතව මුල් ඓතිහාසික අවධියේ දී විශේෂ ප‍්‍රාගුණ්‍යතාවන් සහිත යකඩ කරුවන් හා තඔ කරුවන් එම ප‍්‍රදේශයේ බිහිවන්නට ඇත. මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම එම ප‍්‍රදේශයේ නිධිගතව තිබූ මැග්නටයිට් යපස් බලපාන්නට ඇති අතරම අනෙක් අතට ඊට පෙර පැවැති සංස්කෘතිය වූ පුර්ව ඓතිහාසික සංස්කෘතියෙන් ලබාගත් ලෝහ පිළිබඳ දැණුම ඔවුන්ට වැදගත් වූ නිසා ලෝහ සම්පත් පරිහරණය සම්බන්ධව කටයුතු විධිමත්ව සිදු වූ බව මේ අනුව පෙන්වාදිය හැකිය.

මුල් ඓතිහාසික අවධියේ ඌව පලාතේ ස්ථාපිතව ඇති මුල් බ‍්‍රාහ්මී අභිලේඛන අනුව බුද්ධිමය හා ශිල්පීයමය කටයුතු ආශ‍්‍රිතව සම්පත් පරිහරණය හා නිෂ්පාදන ක‍්‍රියාවලිය ද විමර්ශනය කිරීමේදී අචරියවරුන්ගේ කාර්යභාර්ය ද වැදගත් වේ. මාවරගල හා කහටඅතුහෙළ ස්ථාපිත ශිලා ලිපිවල අචරියවරුන් ගැන සඳහන් වේ (Ic.Vol.I.No. 748,749,753). අචරිය, අසිරිය, අචිරිය, අජරිය, අජිරිය යන නමින් හඳුන්වන පිරිස සමාජයේ බුද්ධිමය පාර්ශවය දියුණු කළ ආචාර්යවරු විය හැකි බව පෙන්වා දෙන හඟුරන්කෙත ධීරානන්ද හිමි එමඟින් පුහුණු කළ ගුරුවරයා යන අරුත දක්වන බවත් එමෙන්ම දනු අචරිය වැනි නම් අභිලේඛනවල සඳහන් වන බැවින් ඔවුන් දුනු හා ඊතල නිපදවීම හො දුනු ඊතල භාවිතය පුහුණු කළ ගුරුවරු විය හැකි බව පෙන්වා දී තිබේ (ධීරානන්ද 2004:151-152). මේ ආකාරයට ඌව පලාත ඇසුරින් භාණ්ඩ නිෂ්පාදනය ක‍්‍රියාවලිය ඊට දායකත්වය දැක්වීම සඳහා වූ බුද්ධිමය තත්වයක් එමඟින් හඳුනාගත හැකිය. ඒ සමඟම එම නිෂ්පාදන බෙදාහැරීම සඳහා සංවිධනය වූ වෙළෙඳ කණ්ඩායම පුගියන නමින් ක‍්‍රියාත්මක වී ඇති බව වැලඑල්ලූගොඩ කන්ද අභිලේඛනයක සඳහන් වේ (Ic.Vol.I.No.726). මේ පිළිබඳව විමර්ශනය කරන විද්වත්හු පෙන්වා දී ඇත්තේ භාණ්ඩ නිෂ්පාදනය වීම සමඟම ඒවා බෙදාහැරීම සඳහා සංවිධනය වූ කණ්ඩායම ව්‍යුහයක් ලෙස පුග හා ශ්‍රේණි වශයෙන් මුල් ඓතිහාසික අවධියේ මෙරට ක‍්‍රියාත්මක වී ඇති බවය (ඩයස් 1991:3-5). පුග හා ශ්‍රේණි පිළිබඳව විග‍්‍රහ කරන මහින්ද කරුණානායක පුගය බලපවත්වන ප‍්‍රදේශයේ එම ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් ක‍්‍රියාත්මක වූ විවිධ කර්මාන්ත හා වෙළදාම් පිළිිබඳව ඔවුන් සොයා බැලූ බව පෙන්වා දී ඇත (කරුණානායක 1967:63). පුගය අනිවාර්යෙන් ම භාණ්ඩ එකතු කර ප‍්‍රධාන වෙළෙඳපොළ දක්වා ඒවා බෙදාහරින ලද සංවිධානයක් බව පෙන්වා දිය හැකි ය. ශිලා ලිපිවල සඳහන් ග‍්‍රාම හා කඩ ජාලය පිලිබඳ ව විග‍්‍රහ කරන සුදර්ශන් සෙනෙවිරත්න පාරිසරික භූ රූපන කලාප කිහිපයක් අතර වූ සම්පත් පරිවහන ක‍්‍රියාවලිය සඳහා ඒවා ක‍්‍රිියාත්මක වූ අන්දම පෙන්වා දී තිබේ (සෙනෙවිරත්න 1996:20). කඩ යන්නෙන් ද්වාරය, සුළු වෙළෙඳපොළ අර්ථවත් වන බව පෙන්වා දෙන සෙනෙවිරත්න පාරිසරික ක්‍ෂේත‍්‍ර දෙකක් අතර භාණ්ඩ හුවමාරු කිරිමට මුල් ඓතිහාසික යුගයේ දී එම ස්ථාන වැදගත් වූ අන්දම පෙන්වා දී ඇත (සෙනෙවිරත්න 1996:21-22). මෙම කරණු පිළිබඳව විමර්ශනාත්මක ව විමසීමේ දී පැහැදිළි වන්නේ මුල් ඓතිහාසික අවධියේ දී ඌව පලාත තුළ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම මෙන් ම ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අළෙවිය සඳහා වානිජ ජාලයක් ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය කරන ව්‍යුහය ඉතා විධිමත් ලෙස සැකසී තිබූ බව පැහැදිළි වන බව ය.

ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය පිළිබඳව සිදු කරන ලද විමර්ශනයේ දී පැහැදිලි වූයේ මූලාශ‍්‍රයවල හුදෙකලා විවේකී ප‍්‍රදේශයක් ලෙස විස්තර කර ඇති ඌව පලාතට අයත් මධ්‍යම කඳුකරය හා එහි අන්තර් මධ්‍යම ප‍්‍රදේශය ඉතා ඈත අතීතයේ සිටම මානව ජනාවාසකරණයට ලක් වෙමින් තාක්‍ෂණික සංස්කෘතික පරිවර්තන රටා (Caltural Transitional Period) ඔස්සේ ක‍්‍රියාත්මක වෙමින් වැදගත් භූමියක් වූ බවය. ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී ප‍්‍රාරම්භක සමාජ ලෙස සිය ජීවනෝපාය සඳහා අවැසි ශිලා මෙවලම් තනා ගැනීමට ඛනිජ සම්පත් භාවිතය ද ඉන් පසුව අග්නිදිග ලංකාවේ වියළි තැනිතලා භූමි කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ ඉඩකඩක් සැකසීමේ දී ඌව පලාත හා තදාශ‍්‍රිත ප‍්‍රදේශය ඉන් පර්යන්ත ප‍්‍රදේශ ඛනිජ සම්පත් පරිහරණ ක‍්‍රියාවලට අවතීර්ණ වෙමින් ආර්ථික කටයුතු හා ශිල්ප නිෂ්පාදන කටයුතු සඳහ විශාල දායකත්වයක් පූර්ව හා මුල් ඓතිහාසික අවධිය වන විට ලබා දී ඇති බව පුරාවිද්‍යා හා බ‍්‍රාහ්මී අභිලේඛනගත තොරතුරු ඔස්සේ හඳුනාගත හැකිව තිබේ. ඒ සමඟ ම සම්පත් හැසිරවීමේ ක‍්‍රියාවලිය ඔස්සේ එම ප‍්‍රදේශ ආශ‍්‍රිතව ඒ හා බද්ධ වූ ප‍්‍රාදේශීය පාලන ක‍්‍රමයක් ක‍්‍රමානුකූලව නිර්මාණය වී ජනාවාස ධූරාවලී පද්ධතියක් සැකසී සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයක් මෙම ප‍්‍රදේශයේ මුල් ඓතිහාසික අවධිය වන විට ස්ථාවරව නිර්මාණය වී තිබූ බව මෙම කරුණු ඔස්සේ හඳුනාගත හැකි බව පෙන්වා දිය හැකි ය. මෙම තත්ත්වය ඉන් පසුව ඓතිහාසික යුගයෙ දී ඇතිවන තාක්‍ෂණික සංස්කෘතික අවධි තුළින් තවදුරටත් සාර්ව ආකාරයට පැවතුන අතර උඩරට රාජධානි සමයේ ක‍්‍රියාත්මක වූ රාජකාරි කුළ ධූරාවලිය සැකසීම සඳහා බලපෑමක් ඇති කරමින් අති පුරාණයේ සිටම ඌව පලාත මෙන්ම මධ්‍යම කඳුකර කලාපයේ සිදු වූ මානව ජනාවාසකරණය සම්පත් පරිහරණ ක‍්‍රියවලිය ශ‍්‍රී ලංකාවට වැදගත් වූ බව මේ අනුව පෙන්වාදිය හැකි ය.

පරිශිලනය කරන ලද ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • කරුණානායක, ආර්.එම්. (1967) පුග ශ්‍රේණිය හා මුදල් 67-76, ගයිගර් සමරු කලාපය, සංස්. ලබුහේන්ගොඩ චන්ද්‍රරතන, ධාරා පාලි සඟරා සම්පාදක මණ්ඩලය, 90/21, කොළඹ, 10, 67-76.
  • චූලවංසය (සිංහල) බු.ව. (2496) සංස්. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ, තෘතීය මුද්‍රණය, ආණ්ඩුවේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව.
  • මහාවංසය (සිංහල) (1996) සංස්. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමිත දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ, සීමාසහිත දීපානි ප‍්‍රකාශන පෞද්ගලික සමාගම, නුගේගොඩ.
  • සහස්සවත්ථූපකරණය (1959), පොල්වත්තේ බුද්ධදත්ත හිමි.
  • ඩයස්, එම්. (1991), අභිලේඛනමය සටහන්, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, කොළඔ.
  • සෙනෙවිරත්න, සුදර්ශන් (1996), උත්තර මලය රට්ඨයේ ප‍්‍රාථමික යකඩ යුගයේ ඛනිජ සම්පත් පරිහරණයේ ඓතිහාසික පුරාවිද්‍යාව, 184-199, ඓතිහාසික මහනුවර, මහනුවර, ශ‍්‍රී සුමංගල විද්‍යාලයීය බෞද්ධ සංගමය
  • සෝමදේව රාජ් (2016), ඉතිහාසය 10 ශ්‍රේණිය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තුමේන්තුව, කොළඔ.
  • බංඩාර දර්ශණ සහ තවත් අය (2018), ශ‍්‍රී ලංකාවේ අතීත මානව ජනාවාස ව්‍යාප්තිය තහවුරු කරන පූර්ව ඓතිහාසික යුගයේ සුසාන පරිශ‍්‍ර පිළිබඳ වන පුරාවිද්‍යාත්මක සාක්‍ෂි (මොනරාගල දිස්ත‍්‍රික්කයේ සෙල්ලක්කාඔය නිම්න ප‍්‍රදේශ ඇසුරින්, 84-94, Proceedings of National Archaeological Symposium, Department of Archaeology, Ministry of Highr education and Cultural Affairs
  • ධීරානන්ද හිමි, හඟුරන්කෙත (2004), රාජත්වය, රාජ්‍ය සහ ආගම, ආරිය ප‍්‍රකාශකයෝ, වරකාපොළ.
  • ශ‍්‍රී ලංකා ජාතික සිිතියම් පොත (2015), පාසැල් මුද්‍රණය, ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තු දෙපාර්තුමේන්තුව, කොළඔ.
  • Cooray (1984), An Introduction to the Geology of Sri Lanka (Ceylon), Colombo, National Museums of Sri Lanka.
  • Deraniyagala, S.U. (1972), Archaeological Survey to Investigate South east Asian Prehistoric Presence in Ceylon Occasion paper No.1 (ed).W.G. Solhaeim & S.U. Deraniyagala, Ancient Ceylon August 1972, Archaeological Survey Department, Colombo. Paranavitane,S.
  • Deraniyagala, S.U. (2004), The Prehistory of Sri Lanka ;An Ecological Perspective, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala P.E.P (1958), The Pleistocene of Ceylon. Sri Lanka, Colombo,National Museums
  • Gunawardena, R. A. L. H. (1982), prelude to the State: An Early Phase in the Evaluation of political Institutions in Ancient Sri Lanka 1-39, The Sri Lanka Journal of the Humanities. Vol II. VIII Nos 1&2 , University of peradeniya.
  • Jullef, G. (1988), Early Iron and Steal in Sri Lanka, Verlag Philipp Von Zabeern, Mainz Am Rhein
  • Kalubandara, S.T. (2006), A brief Geological Report on the Uva Magnetite depositat Kukurampola in the Monaragala district, Geological survey Department, Colombo.
  • Noone, H.V.V. (1945), Stone Age relics at Bandarawela, Loris 4(1) : 263- 6
  • Paranavitane, S. (1970), Inscription of Ceylon, Vol. I, Colombo, Department of Archaeology Ceylon , Colombo.
  • Perera, L.S. (1962), The Social Economic Foundation of Early Anuradhapura Kindom, Young Socialist (April, June) Colombo .
  • Sarasin, F. (1926), The Stone Age of Ceylon, Nature. 117 ( 2946):567
  • Seneviratne, S. (1990), The locational significant of early iron age site in intermediarly transitional Eco-Systems: Apreliminary survey study of the upper Kala Oya Region, North-Central Sri Lanka, The Settlement Archaeology of the Sigiri Dambulla Region, Postgraguate Institute of Archaeolog, University of Kelaniya.
  • Seneviratne, S. (1996), Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and social Organization in Sri Lanka 265-312 Tradition Dissent and Ideology : Essay in Honor of Romila Thapar, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press, Delhi.
  • Seneviratne, S. (1985), Iron Tecnology in Sri Lanka, a Preliminary study of resuorse use and production techniques during the early iron age, The Sri Lanka Journal of the Humanities Vol. XI. Universitu of Peradeniya, Sri Lanka
  • Seneviratne, S. (1989), Pre State Chieftain and Servants of the State : A case study of  the parumuka. Sri Lanka Journal of Humanities. Vol XV.No.1 & 2 99-131
  • Solangaarchchi, S.D.M.R.A. (1999), Early  Iron Smelting in the Sigiriya Dambulla Region, Unpublished M.Phill thesis, PGIAR, University of Kelaniya
  • Thathilage, A. and I. Vithanage (2015), Resources Utilization in Sri Lanka Historical Production, PGIAR Publication
පූර්ව හා මුල් ඓතිහාසික අවඹියේ ක්‍ෂේත‍්‍ර හා ඛනිජ සම්පත්වල ස්ථානගත වීම දැක්වෙන සිතියම උපුටාගැනීම : Senaviratne 1990:122
ශ‍්‍රී ලංකාවේ ලෝහ නිධිගත වී ඇති ස්ථාන හා මුල් හා පශ්චාත් කාලීන යුගවල ලෝහ නිෂ්පාදන ක‍්‍රියාවලියට අයත් ප‍්‍රදේශ දක්වෙන සිතියම උපුටාගැනීම : Thanthilage & Vithanage2105:13

[මෙම ලේඛනයේ මුඛ්‍ය ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දක් වන අතර එහි මුල් හිමිකරුට වෙබ් අඩවියේ කෘතඥතාව හිමි වේ. එම ඡායාරූපයෙන් ඌව පළාතේ පිහිටි රාවනා ඇල්ල නිරූපණය වේ.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.16 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

රට, දැය හා සමය රැකගත් නාරංබැද්ද සටන

ප්‍රසාද් ෆෝන්සේකා

ධර්මරත්න මාවත, රාවතාවත්ත, මොරටුව.

ප්‍රසාද් ෆෝන්සේකා

මෙම සටන ක්‍රිස්තු වර්ෂ 1326-27 දී පමණ මහඔය අසබඩ කෑගල්ල දිස්ත්‍රික්කයේ නාරංබැද්ද නම් ගම්මානයේ සිදු වූ ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් සටනකි. යම් හෙයකින් ඒ අවස්ථාවේ දී සිංහල සේනාව ආක්‍රමණිකයා හමුවේ පරාජය වූයේ නම් එහි ප්‍රතිපලය වන්නට තිබුණේ අනුරාධපුර සමයේ අවසාන කාලයේ මෙන් රට දශක ගණනාවක් දකුණු ඉන්දියාවට යටත් ව පැවතීම යි. එසේ ම, මහනුවර අස්ගිරි විහාරයේ ආරම්භය ද මේ ආක්‍රමණය හා බැඳී පවතී. එහෙත් එතරම් වැදගත් මේ සටන ගැන කිසිම ඉතිහාස පොතක හෝ ලිපියක සඳහන් ව නොමැති අතර ඒ ගැන සඳහන් එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගත් සෙල්ලිපිය ද, ඒ ස්ථානයේ තිබුණ නටබුන් ද දැන් විනාශ වී ඇත. බෙල් විසින් ලියා තැබූ සෙල්ලිපියේ දෘෂ්‍ය පිටපත නොවේ නම් මේ සටන ගැන කිසිවක් වර්තමාන පරපුරට දැනගන්නට ලැබෙන්නේ නැත.

මෙහි සඳහන් ව ඇති ස්ථාන වල දළ සිතියම

දෙ වන පරාක්‍රමබාහු රජුගෙන් පසු කාලය

දෙ වන පරාක්‍රමබාහු රජුගේ පුත් පළමු වන බුවනෙකබාහු රජු 1275 සිට 1286 දක්වා රට පාලනය කළේ යග වර්ෂ 1286 දී පාණ්ඩ්‍ය සෙන්පති ආර්ය චක්‍රවර්ති විසින් පළමු වන බුවනෙකබාහු ඝාතනය කර1 දන්තධාතුන් වහන්සේ ඉන්දියාවට පැහැරගෙන ගියේ ය. ඉන්පසු රජ වූයේ දෙ වන පරාක්‍රමබාහු රජුගේ මුණුබුරු හා හතර වන විජයබාහු රජුගේ පුත්ල තුන් වන පරාක්‍රමබාහු (1286-1291) ය. යුද්ධ කිරීමට තරම් ශක්තියක් නොමැති නිසා මේ රජු දකුණු ඉන්දියාට ගොස් පුද්ගලිකව ම කුලශේකර රජු හමු වී දන්තධාතුන් වහන්සේ නැවත ලබාගත්තේ ය (දළදා සිරිත 6:20). ඒ රජුගේ කාර්යය ගැන, විශේෂයෙන් රාජතාන්ත්‍රික මෙහෙයුම ගැන නිසි අගැයීමක් ඉතිහාසඥයන් විසින් කර නැත.

යාපනය රාජධානිය

යාපනය රාජධානිය ගැන මුලින් ම සඳහන්වන්නේ 7 වන සියවසේ පමණ ය. එතැන් සිට මාඝගේ පාලනය දක්වා එය රටේ අන් ප්‍රාදේශීය රාජධානි මෙන් විය. වරින්වර ආක්‍රමණ සඳහා පැමිණි දෙමළ පිරිසක් ද එහි පදිංචි ව සිටියහ. වර්ෂ 1560 දී පළමු වන සංකිළි පුරුතුගීසින්ට යටත්වීමේ ගිවිසුම පිළියෙල කර ඇත්තේ සිංහල හා පුරුතුගීසි භාෂා වලිනි (ක්වේරෝස් 371). ඒ අනුව, ඒ කාලය වනවිටත් ආර්ය චක්‍රවර්තීන් විසින් පරිපාලන කටයුතු සිදුකළේ සිංහල භාෂාවෙන් බවත් වැඩි ජනගහණය සිංහලයන් වූ බවත් පෙනේ. පළමු වන බුවනෙකබාහු රජුගෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 1286 දී යාපනය පාණ්ඩ්‍යයන්ට යටත් විය. පාණ්ඩ්‍ය රජුගේ පුතෙකු එහි පාලකයා බවට පත්විය (යාල්පාන වෛපවමාලයල 34). ඔහුගෙන් පැවත ආ ඒ පාලකයන් ආර්ය චක්‍රවර්ති නමින් හැඳින්විණ.

ආර්ය වක්‍රවර්තිවරු විටින්විට රටේ අන් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කළහ. ඒ දකුණු ඉන්දියානු සේනාවන් උපයොගි කරගනිමිනි. ඒවායේ එක් අරමුණක් වූයේ කොල්ලකෑම යග ශ්‍රී ලංකාවේ යටත් රාජධානියක් වූ යාපනය රාජධානිය 1286 සිට හය වන පරාක්‍රමබාහු රජු (1412-67) විසින් ක්‍රිස්තු වර්ෂ 1449 දී පමණ නිදහස් කරගන්නා තෙක් සෑම විට ම පාණ්ඩ්‍ය හෝ විජයනගර් අධිරාජ්‍යයේ කොටසක් ව පැවතිණ. නොයෙක් දකුණු ඉන්දියානු රජවරු තමන් ලංකාව ආක්‍රමණය කළ බව සඳහන් සෙල්ලිපි පිහිටුවා තිබේ. ඒවායින් සමහර ආක්‍රමණ ලංකාවේ වාර්තාවල නොමැත. එහෙත් ඒවා අසත්‍ය බවට තීරණය කළ නොහැකි ය. මේ ආක්‍රමණ කළේ දකුණු ඉන්දියානු ආධාර හා අනුබල ඇතිව යාපනයේ සිටි ආර්ය චක්‍රවර්ති විසිනි. ක්‍රිස්තු වර්ෂ 1391 දී කළ මෙවැනි ආක්‍රමණයක දී පිහිට වූ කොටගම දෙමළ සෙල්ලිපිය දැන් කොළඹ කෞතුකාගාරයේ තිබේ.

දඹදෙණි සමයේ අවසානයේ හා කුරුණෑගල රජවරු

සතර වන විජයබාහු (1273-75) රජුගේ පුත් පොළොන්නරුවේ රජ කළ තුන් වන පරාක්‍රමබාහු (1286-91) රජුට පසුව පළමු වන බුවනෙකබාහු රජුගේ පුත් දෙ වන බුවනෙකබාහු (1291-1325) රජවිය. වසර 34ක් රජ කළ මේ රජු සාසනයට විශාල සේවයක් කර ඇති නමුත් යාපනය රාජධානිය ආපසු යටත් කරගන්නට උත්සාහ කළ බවක් නොපෙනේ. ඒ එකල රට ආර්ථික වශයෙන් ද යුධ ශක්තියෙන් ද දුර්වල ව සිටි නිසා විය යුතු ය. ඉන්පසු රජවූයේ දෙ වන බුවනෙකබාහු (1275-86) රජුගේ පුත් හතර වන පරාක්‍රමබාහු (1325-33) ය. එතුමාගෙන් පසු සොහොයුරු පස් වන විජයබාහු (1333-1344) රජ විය. දෙ වන බුවනෙකබාහුසතර වන පරාක්‍රමබාහු හා පස් වන විජයබාහු යන රජවරුන් ති දෙනා රජ කළේ කුරුණෑගල වූ අතර ඉන්පසු හතර වන බුවනෙකබාහු රජු (1344-57) ගම්පොළ තම අගනුවර කරගත්තේ ය.

නාරංබැද්ද සෙල්ලිපිය

මෙම ලිපිය සොයගත් බෙල්, කෑගලු වාර්තවේ (77) දක්වා ඇති ලෙස රඹුක්කන දුම්රිය ස්ථානයට සැතපුම් 2ක් පොල්ගහවෙල දෙසට ආ විට මහ ඔයෙන් අනෙක් ඉවුරේ කළුගල් පරයක (boulder) එම ලිපිය කොටා තිබී ඇත. ඒ අවට පැරණි ගඩොළු හා උළුකැට කැබලි තිබී ඇති අතර ඒවා පැරණි ආරාමයක නටබුන් බව ඔහුට නිරීක්‍ෂණය වී තිබේ. ඒවා නිසැකයෙන් ම සෙල්ලිපියේ සඳහන් ව ඇති පිරිවෙනේ හා විහාරයේ නටබුන් විය යුතු ය. වර්තමානයේ පොල්ගහවෙල සිට රඹුක්කන මාර්ගයේ නාරංබැද්ද විහාරයට ටික දුරක් ඉදිරියෙන් මේ ස්ථානය පිහිටා තිබේ.

වර්මානයේ නාරංබැද්ද ගම්මානයේ කොටගනේ2 නම් ස්ථානයක් තිබේ. එය අඩි 25ක් පමණ උස පර්චස් 30-40ක ඉඩමක ඇති කුඩා කඳුගැටයක් වැනි බිමකට භාවිත කරන නමයි. එය ගමේ නම නොවේ. එම ස්ථානයට පමණක් භාවිත කරන නම ය. ගමේ මිනිසුන් එය ගුප්ත ස්ථානයක් බව සිතතිග ඒ ස්ථානයට කිසිවෙක් නොයති. එහි ඇති ලඳු කැලෑව කපා ඉවත් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ. එම ස්ථානයෙන් පිටත ගල්තලාවේ නාරංබැද්ද සෙල්ලිපිය පිහිටා තිබුණ බව ගැමියෝ කියති. කොටගනේ අවට ප්‍රදේශය දැන් කෘෂිකාර්මික ඉඩමක් ලෙස භාවිත වන අතර බෙල් නිරීක්‍ෂණය කළ ආරාමයක නටබුන් දැන් දක්නට නැත. එහෙත් තැනින්තැන පැරණි ගඩොළු කිහිපයක් දක්නට ඇත. මේ භූමියේ කැනීමක් කළහොත් ආරාමයේ නටබුන් මතු වීමට ඉඩ තිබේ.

නාරංබැද්ද සෙල්ලිපිය පිහිටා ඇති ස්ථානය
ලඳු කැලය මැදින් පෙනෙන කොටගනේ
කොටගනේ මත සිට ගත් ඡායාරූපයක්

 

නාරංබැද්ද ලිපිය

බෙල් විසින් පිටපත් කළ දෘෂ්‍ය පිටපත මෙසේ ය.

ස්වස්ති ශ්‍රි නවරත්නාධිපති පරාක්‍රමබාහු ස්වාමී මායාරජය නසන්නට ආ දෙමළුන් පරාජය කොට දළදා පාත්‍රාධාතුන් වහන්සේ ද මහා සංඝයා වහන්සේ ද රැක ශසනයන් විසින් පැත්තුමක් වෙදයන්ට සෙලවිහාරය කරවා පරාක්‍රමබාහු පිරිවනයයි නම් දී මෙම දෙමින් (නඛ)රසේල මවගම් ගොඩ ගසකොළ ද වත්ත ද කුඹුර ද අළු(උල) ද නුගවෙල ද … පිටිය පටන් (උඩ)හිරිය … කුඹුර ගගග පාරිණ් … පරන … මාවත ගසා වැද තිත්තපත්පත්හලි පටන් මිකදදෙවට … පරණ රදාතොටැ පටන් මාපිටිය දයා(ලියදි) ද උඩදැලිවෙල ද මෙවෙ[දනා] පිරිවෙන ද බද වස[න්නන්] ලවා කරවා වදාළ පරාක්‍රමබාහු පිරිවෙනට මතු රාජ රාජ අමාප්තාදීන් වියවුලක් කළ කෙනෙක් ඇත්නම් නර[කෙ] පැසී දැවෝයැ කවුඩු බළුවැ කාවණු බැලුබත් කෑවෝය රොඩින් ම මැ වෙත් වම්හ මාගේ දරුවන් මළ තෙක් දී සහා (දුන්) කෙනෙකුන් (නට ම පින්පුර) පිනට හා බුදුන්ට පිදූ බවය

මේ ලිපියෙන් හෙලිවන්නේ මායා රජය විනාශ කරන්නට ආ දෙමළ සේනාව පරාජය කළ බවත් එය සිහිවීම පිනිස විහාරයක් හා පිරිවෙනක් කර එයට කිසියම් ප්‍රදානයන් දුන් බවත් ය. මෙහි අක්‍ෂර දඹදෙණි-කුරුණෑගල සමයට අයත් ය. විහාරමහා දේවි නම් පැරකුම්බා දෙබෑ රජවරුන්ගේ අගමෙහෙසිය විසින් කරන ලද මේ කාලයට ම අයත් බව පෙනෙන සෙල්ලිපි දෙකක් මඩකලපු දිස්ත්‍රික්කයේ මගුල්මහ වෙහෙර නම් ස්ථානයෙන් ලැබී ඇත. සොළී සේනාව මැඩැ රූණු රට රජැ … පැරකුම්බා දෙබෑ රජදරුවන් දෙදෙනාට අගමෙහෙසුන් වූ විහාරමහා දේවි නම් … (Inscriptions of Ceylon Vol. VII, 17, 18) ලෙස සඳහන් වේ. මේ රැජින සොළීන් පරාජය කළ පරාක්‍රමබාහු නම් රජුට ද ඔහුගෙන් පසු රජ පැමිණි සොහොයුරාට ද අග රැජින වී ඇත. එහි අක්‍ෂර ද දඹදෙණි-කුරුණෑගල සමයට අයත් ය. ඒ අනුව, මේ නාරංබැද්ද ලිපියේ සඳහන් පරාක්‍රමබාහු රජු මේ ලිපියේ සඳහන් පරාක්‍රමබාහු රජු ම යයි අනුමාන කළ හැකි ය. නාරංබැද්ද ලිපියේ රජුගේ රාජධානිය මායා රටෙහි තිබුණ බව සඳහන් හෙයින් එමගින් ඒ කුමන රජු ද යයි අවබෝධයක් ලබාගත හැකි ය.

මායා රටට අයත් රාජධානි වන්නේ දඹදෙණිය, යාපව්ව, ගම්පොළ, කෝට්ටේ හා මහනුවර ය. මේ කාලයට අයත් පරාක්‍රමබාහු නමින් වූ රජවරු හා අගනුවරවල් වන්නේ;

    1. දෙ වන පරාක්‍රමබාහු – දඹදෙණිය
    2. තුන් වන පරාක්‍රමබාහු – පොළොන්නරුව
    3. හතර වන පරාක්‍රමබාහු – කුරුණෑගල
    4. පස් වන පරාක්‍රමබාහු – ගම්පොළ
    5. හය වන පරාක්‍රමබාහු – කෝට්ටේ

මේ අතරින් දෙ වන පරාක්‍රමබාහු රජු ගේ කාලයේ දි සිදු වූ ආක්‍රමණ චූළවංසයේ හා පූජාවලියේ පැහැදිලි ව සඳහන් ය. ඒ අතර මෙවැනි ආක්‍රමණයක් සඳහන් ව නැත. මෙය තුන් වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී සිදුවිය නොහැකි ය. තව ද එතුමා රජ කළේ මායාරටේ නොවේ. හය වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ මෙවැනි ආක්‍රමණයක් සිදුව නැති බවට මූලාශ්‍රය අනුව නිගමනය කළ හැකි ය.

ඒ නිසා ආක්‍රමණය හතර වන හෝ පස් වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ විය යුතු ය. රජු හඳුනාගැනීමට තවත් හෝඩුවාවක් මඟුල්මහා විහාර ලිපියේ සඳහන් ය. එනම්, ඒ පරාක්‍රමබාහු රජුට පසු රජවිය යුත්තේ එතුමාගේ සොහොයුරෙක් විය යුතු ය. කුරුණෑගල රජ වූ හතර වන පරාක්‍රමබාහු රජුට පසු රජ වූයේ ඔහුගේ සොහොයුරු පස් වන විජයබාහු රජු ය. ගම්පොළ රජ වූ පස් වන පරාක්‍රමබාහු රජුට පසු රජවූයේ ඔහුගේ බෑනා වු තුන් වන වික්‍රමබාහු රජු ය. ඒ නිසා මේ ආක්‍රමණය පරාජය කළ රජු හතර වන පරාක්‍රමබාහු බව නිගමනය කළ හැකි ය.

මේ ආක්‍රමණය හා සටන ගැන මූලාශ්‍රයහි දක්වා ඇත්තේ මොනවාදැයි සොයාබැලීමේ දී චූළවංසයේ 90 වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ ඒ රජුගේ බොහෝ පුණ්‍යක්‍රියා ගැන පමණි. ඒ සටන ගැන හෝ රජුගේ රාජ්‍යකාලය කෙතෙක් ද යයි සඳහන් නොවේ. මේ කාලයේ චූළවංසය කෙතරම් දෝෂ සහිත ද කිවහොත් ඉතාම වැදගත් සිද්ධීන් දෙකක් වූ වීර අලකේශ්වර රජු චීනයට අල්ලාගෙන යෑමත්, පුරුතුගීසීන් ලංකාවට පැමිණීමත් එහි දක්වා නොමැත. ඒ නිසා වෙනත් මූලාශ්‍රය සොයාබැලිය යුතු ය. රජුගේ කාලයේ රචිත දළදා සිරිතේ ද ඇත්තේ ද රජු කළ පුණ්‍ය ක්‍රියා පමණි. එහෙත් එහි (7.25) ශ්‍රී ලංකා දීපය එක්සත් කැරු’ යයි සඳහන් වේ. ඇතැම්විට කතුවරයා තම මාතෘකාව අනුව පමණක් ලියූ හෙයින් එසේ කෙටි සඳහනක් පමණක් කරන්නට ඇත.

පරාක්‍රමබාහු නම් රජෙකුගේ කාලයේ සිදු වූ ආක්‍රමණයක් ගැන තිසර සංදේශයේ ද වුත්තමාලා සංදේශයේ (පාලි) ද සඳහන් ය. දැනට බොහෝ විදුවතුන්ගේ පිළිගැනීම නම් මේවා හතර වන පරාක්‍රමබාහු රජු සිටි කුරුණෑගල සමයට නොව ඊට බොහෝ පසු කාලීන බව යි. කෙසේ වුව ද, ඉහත දැක් වූ කරුණු අනුව ඒ ගැන නැවත අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වේ. තිසර සංදේශයේ සඳහන් පරාක්‍රමබාහු 1360 පමණ රජ කළ පස වැන්නා බව ඩී.බී. ජයතිලක කියයි. කුමාරතුංග මුනිදාස අදහස් කරන්නේ ඒ 1400 පමණ ජීවත් වූ පරාක්‍රම ඈපා බව යි. මැන්දිස් රෝහණධීරට අනුව ඒ හය වන පරාක්‍රමබාහුට සම කාලීන 1430 පමණ සිටි රජ කෙනෙකි.

පැහැදිලිව ම තිසර සංදේශය ලියා ඇත්තේ ආක්‍රමණයක් ඇති වූ අවස්ථාවක ය. එහි 187 කවියෙහි කවියා දෙවිඳුන් යදින්නේ රජු වෙත කරුණා ඇස යොමුකර සතුරු සේනාවේ මානය බිඳ නැති වූ තේජස, දීර්ගායුෂ ආදී සියල්ල නැවත ලබාදෙන ලෙසයි. එහි තවදුරටත් කියැවෙන්නේ; රට රැකගත හැක්කේ සුදුසු රජුන් සිටියහොත් පමණි. දැන් විරාජමානව සිටින පරාක්‍රමබාහු රජු ජනතාව රැකගෙන රට එක්සත් කිරීමට වෙහෙසෙයි. එයින් වැටහෙන්නේ සතුරා දැනටමත් ජයග්‍රහණ ලබා ඇති බවයි. එසේ ම එක් කවියක (8) පැවසෙන්නේ දැතිගම්පුර දිස්න පැරකුම් රජු’ යනුවෙනි. එනම් රජු දැන් දැදිගම පෙනෙන්නට සිටියි. එය ඔහුගේ වාසස්ථානය නොවන බව එයින් පෙනේ. බ්සවගේ නම සුමිත්‍රා (188) ය.

තිසර සංදේශය ලියා ඇත්තේ සේන නම් අගමැති වරයෙකු (48) සිටි කාලයේ ය. රජුගේ නම පරාක්‍රමබාහු (8) ය. එකල සිටි අගමැති වරුන් ගැන ඇති සටහන් මෙසේ ය;

බුවනෙකබාහු 2 (1291-1325) = සඳහන් නොවේ
පරාක්‍රමබාහු 4 (1325-33) = සඳහන් නොවේ
බුවනෙකබාහු 3 = රජ කළේ දින 7ක් පමණි
විජයබාහු 5 (1333-44) = සඳහන් නොවේ
බුවනෙකබාහු 4 (1344-57) = සේන (නිකාය සංග්‍රහය 30)
පරාක්‍රමබාහු 5 (1357-60) = සිවල්කොළු (පැදුරුගල්පොත්ත අමුණ ලිපිය3)

තිසර සංදේශයේ සඳහන් පරාක්‍රමබාහු රජුගේ අගමැති සේන හෙයින් ඒ රජු පස් වන පරාක්‍රමබාහු විය නොහැකි ය. පස් වන පරාක්‍රමබාහු රජුගේ අගමැති සිවල්කොළු ය. ඒ නිසා සැකයෙන් තොරව තිසර සංදේශයේ සෙත් පතා ඇත්තේ හතර වන පරාක්‍රමබාහු රජුට බව නිගමනය කළ හැකි ය. ඒ අනුව තහවුරු වන්නේ හතර වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී ආක්‍රමණයක් සිදු වූ බව ය. දැන් ඉහතින් දැක් වූ අගමැති වරුන් මෙසේ නිගමනය කළ හැකි ය.

බුවනෙකබාහු 2 = සඳහන් ව නැත
පරාක්‍රමබාහු 4 = සේන
බුවනෙකබාහු 3 = සේන
විජයබාහු 5 = සේන විය යුතු ය
බුවනෙකබාහු 4 = සේන
පරාක්‍රමබාහු 5 = සිවල්කොළු

මේ අනුව, තිසර සංදේශය ලියා ඇත්තේ හතර වන පරාක්‍රමබාහු රජු ගේ (1325-33) කාලයේ දී බව තහවුරු වේ. එකල අගනුවර කුරුණෑගල විය. එහෙත් ඒ වන විට රජු සිටියේ දැදිගම යග දැදිගම යනු රාජකීයයන් විසූ නගරයකි. පළමු වන පරාක්‍රමබාහු රජුගේ උපන්ගම ද එයයි. ඒ නිසා සතුරා ක්‍රමයෙන් කුරුණෑගලට ළංවන විට රජු දැදිගමට පළා ගොස් ඇත. කවියා සතුරාගේ මානය බිඳින ලෙස දෙවියන් යදින්නේ එහෙයිනි. එහෙත් සතුරා අගනගරය යටත්කර ගැනීමෙන් නැවතුණේ නැත. සතුරාට අවශ්‍ය වූයේ රජු ඝාතනය කොට රට අල්ලා ගැනීම ය. රජු සිටියේ දැදිගම බව දැනගත් සතුරා දැදිගම දෙසට ද එන්නට විය. සතුරා පැමිණ ඇත්තේ කුරුණෑගල-මහනුවර පැරණි මාර්ගයේ ය. එම මාර්ගය පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ අම්බලම් උපයෝගී කරගැනීමෙනි. පොල්ගහවෙල සිට නුවර මාර්ගයේ පන්නලිය, යටපාවෙල, දේදුනුපිටිය වැනි අම්බලම් කිහිපයක් සිතියමේ ලකුණු කර ඇත.4 සතුරා කුරුණෑගල සිට පොල්ගහවෙලට අවුත් ඉන්පසු ප්‍රධාන මාර්ගයෙන් පැමිණ නැත්තේ, රජුගේ සේනා එහි රැකවල් ලා සිටි නිසා විය යුතු ය. ආක්‍රමණික සේනාවට ඇති ප්‍රධාන බාධකය නම් උස් ඉවුරු ඇති තරණයට අපහසු මහ ඔය යි. ප්‍රධාන මාර්ගයේ ආරක්‍ෂක කපොලු තිබුණ බවට සැකයක් නැත. ඒ නිසා සතුරා මහනුවර මාර්ගයේ සෑහෙන දුරක් ගියේ එහි බාධාවක් නොමැති බව දැනගෙන විය යුතු ය. ඒ අනුව, සුදුසු ස්ථානයක දී ගඟ තරණය කළ හැකි බව ඔවුන් කල්පනා කරන්නට ඇත. ඔවුන් තොරාගත්තේ නාරංබැද්ද ගම්මානයේ මහඔයට කුඩා ඔයක් එකතුවන දකුණු ඉවුරේ ස්ථානයකි. එහි උතුරු පස ඉවුරේ (වම් ඉවුරේ) ගල්තලාවක් ඇති අතර ඒ සථානයේ ගඟේ පළල අඩු ය. එහෙත් එය පෙනෙන්නේ ජලය අඩු කාලවල පමණි. එසේම අපහසු ඉවුර තරණය නොකර කුඩා ඔය දිගේ ගොඩට ආ හැකි ය. එහෙත් ඔවුන් නොදැන සිටි කරුණක් විය. එනම් දකුණු පස ඉවුරේ (දකුණු ඉවුරේ) ඔවුන් එගොඩවන තුරු රජුගේ සේනාව සැඟ වී සිටි බව ය. සතුරා නුවර පාරෙන් හැරී යන විට රජුගේ සේනාව දකුණු ඉවුර දිගේ සැඟ වී නොගියේ නම් නාරංබැද්දේ සටනක් සිදුවිය නොහැකි ය. බොහෝ විට සතුරා කුඩා ඔය දිගේ ගොඩට පැමිණෙන විට රජුගේ සේනාව ඔවුන් සමූලඝාතනය කරන්නට ඇත. ඒ වන විට ඔවුන් දැදිගමට යා යුතු දුරින් අඩක් ගමන්කර තිබිණ. එනම් ඔවුන් කුරුණෑගල සිට නාරංබැද්දට සැතපුම් 18 ගමන්කර තිබුණ අතර එහි සිට දැදිගමට යෑමට තිබුණේ තවත් සැතපුම් 16කි. තමන් දුර්වල ව සිටිය ද භූමියේ වාසිය උපයෝගි කරගනිමින් ජයග්‍රහණය කළ සටනක් ලෙස නාරංබැද්ද සටන හැඳින්විය හැකි ය.

නාරංබැද්ද සටනේ ජයග්‍රහණය

කලින් සඳහන් කළ වුත්තමාලා සංදේශය විමසීමෙන් සටන ජයග්‍රහණය කළ බව තහවුරු වේ. පාලි භාෂාවෙන් ලියැ වී ඇති එහි ද දැදිගම විසූ පරාක්‍රමබාහු රජෙකු ගැන කියැ වේ. බිසවගේ නම සුමිත්‍රා ය (19). ඒ අගරජු බව – රාජාධිරාජ – 17 වන ගාථාවේ සඳහන් ය. 27 වන ගාථාවෙන් සූර්ය වංශයට ධ‍්වජයක් බඳු රජු ජයගත් බව පැවසේ. එහි අවසාන 102 වන ගාථාවෙන් කැලණි විභීෂණ දෙවියන්ට රජු සුරකින ලෙස අයැදුමක් කෙරේ. ඒ අනුව, එය ලියා ඇත්තේ ජයග්‍රහණයෙන් පසුව ය.

මේ ජයග්‍රහණයෙන් පසුව දළදා පාත්‍ර ධාතුන්වහන්සේ ද මහා සංඝයා ද ශාසනය ද රැකුණ නිසා එය සිහිකිරීමට රජු විසින් සේල විහාරය හා පිරිවෙනක් ගොඩනඟා එයට ගම්වරයක් පිදුවේ ය. සෙල්ලිපියක් ද පිහිටුවී ය. එහෙත් බෙල් මහතා ක්‍රිස්තු වර්ෂ 1890 දී පමණ එය කිය වූ පසු නිදන් සොරුන් (ගැමියන්) විසින් සෙල්ලිපියේ කොටසක් විනාශකර ඇත. අනතුරුව 90 වන දශකයේ පාර සංවර්ධනය කරන විට කොන්ත්‍රාත්කරු විසින් ඉහත සඳහන් කළ කුඩා ඔය හරහා බෝක්කුව ඉදිකිරීම සඳහා සෙල්ලිපිය පිහිටි ගල ද පුපුරවා කළුගල් ලබාගෙන තිබේ. ඒ නිසා සෙල්ලිපිය නැවත කියවා වැඩිදුර පර්යේෂණ කළ නොහැකි ය.

සෙල්ලිපිය තිබුණ ප්‍රදේශයේ තිබෙන ගල් පරයක්

එහෙත් මෙම සෙල්ලිපියේ කොටසක් දඹදෙණිය කෞතුකාගාරයේ ‘නාරංබැද්ද සෙල්ලිපියේ කොටසක්’ යනුවෙන් ප්‍රදර්ශනය කර ඇත. එය පරිත්‍යාග කර ඇත්තේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය කළ, හමන්ගල්ලේ පදිංචි ලක්‍ෂමන් ගුණවර්ධන නම් මහතෙකි. ඒ මහතා පවසන්නේ වර්ෂ 1998 දී ඒ මහතාට මේ සෙල්ලිපිය ගැන දැනගන්නට ලැබී එහි ගොස් ඇළ පරීක්‍ෂා කිරීමේ දී එහි කොටසක් හමු වී රැගෙන ගොස් දඹදෙණිය කෞතුකාගාරයට භාරදුන් බවයි. මේ අනුව, මෙම වැදගත් සෙල්ලිපියේ තවත් කොටස් ඇළේ හා බෝක්කුවේ තිබෙන්නට හැකි බව ගුණවර්ධන මහතා පවසයි. ඒවා සොයාගන්නට කටයුතු කරන මෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වූව ද එය තවමත් ඉටු වී නැත.

දැනට දඹදෙණිය කෞතුකාගාරයේ ඇති නාරංබැද්ද සෙල්ලිපියේ කොටසක්

නාරංබැද්ද සටනේ ප්‍රතිඵල

එම සටනෙන් සතර වන පරාක්‍රමබාහු රජු පරාජය වූයේ නම් පළායන්නට හෝ මියයන්නට සිදුවන්නට ඉඩ තිබිණ. එහි ප්‍රතිපලය වන්නට තිබුණේ නැවත අනුරාධපුර සමයේ අවසානයේ දී මෙන් රජරට හා ඊට අමතරව මායාරට ද දකුණු ඉන්දියාවට යටත්වීමට ය. මේ පරාජය නිසා ආර්ය චක්‍රවර්ති ගේ බලය නැවතත් උතුරට සීමා විය.

හතර වන පරාක්‍රමබාහු රජුගේ නාරංබැද්ද සටනින් දළදා පාත්‍රාධාතුන් ද සංඝයා ද සාසනය ද ආරක්‍ෂා විය. පරාක්‍රමබාහු පිරිවෙන ගොඩනැගිණ. රජු විසින් තුන්මහල් දළදා මැදුරක් ඉදි කළ බව කියන දළදා සිරිත දළදා වහන්සේට පුදපූජා පැවැත්වීම නීති සකස් කළ බව කියයි. දළදා සිරිත හා පන්සිය පනස් ජාතකය ලියැවුණේ මේ රජුගේ කාලයේ ය.

අස්ගිරි උපත නම් මූලාශ්‍රය මේ ආක්‍රමණය නිසා සිදු වූ වැදගත් සිද්ධීන් රැසක් විස්තර කර ඇත. ඒ අනුව අස්ගිරි විහාරයේ උපත සිදුවී ඇත්තේ මේ ආක්‍රමණය නිසා ය. කාලිංග මාඝගේ ආක්‍රමණය නිසා 1213 දී පමණ දිඹුලාගල මේධංකර හිමි ප්‍රධාන සංඝයා දඹදෙණියට වැඩියහ. උන්වහන්සේගේ ශිෂ්‍ය දිඹුලාගල දීපංකර හිමියන් අනුරාධපුරයේ ථූපාරාමය අතහැර යාපහුවට වැඩියහ. සුභ සෙනෙවියා උන්වහන්සේට යාපහුව අසල වලස්ගල පව්වේ විහාරයක් කරවීය. එතැන්පටන් වලස්ගලහි කළ විහාරය අස්ගිරි විහාරය බවට පත්විය. (පාලි අච්ඡ = වලසා)

දෙ වන බුවනෙකබාහු රජුගේ (1291-1325) කාලයේ දී දීපංකර හිමියන්ගේ ශිෂ්‍ය දිඹුලාගල බුද්ධරක්‍ඛිත තෙරුන් ප්‍රමුඛ සංඝ්‍යාට එම රජු විසින් අස්මඬලාවේ අභය සුන්දර විහාරය කරවීය. උන්වහන්සේ ද තම විහාරය අතහැර පැමිණියේ ආක්‍ෂාව පතා විය යුතු ය. අස්මඬලාව දැදිගමට කිලෝමීටර් 15ක් පමණ නැඟෙනහිරින් පිහිටා ඇත.

පසුව ආක්‍රමණය නිසා යාපහුව ද අනාරක්‍ෂිත විය. ජනයා කුරුණෑගලට පැමිණ එහි සිට ගවු 5ක් දුර සෙංකඩගල නම් ස්ථානයේ නුවරක් ඉදිකරන මෙන් රජුගෙන් ඉල්ලූහ. රජු සිය බෑණා වූ සිරිවර්ධන නම් කුමරා ලවා නුවරක් කරවා එහි සිට දුනු 500ක්5 මැන ආරණ්‍ය සේනාසනයක් කළේය. සිරිවර්ධන කුමරු කළ නිසා එය ශ්‍රී වර්ධන පුරය ලෙස ද හැඳින්වේ. දිපංකර හිමියන්ගේ තවත් ශිෂ්‍ය හිමිවරුන් පිරිසක් ආක්‍රමණ නිසා කුරුණෑගල ඇත්කඳ විහාරයට වැඩියහ. පසුව කුරුණෑගල ද ආරක්‍ෂා රහිත වන විට ඒ හිමිවරු ශ්‍රී වර්ධන පුරයට හෙවත් සෙන්කඩගල පුරට වැඩමවන ලදී. අස්මඬලාවේ මහණ ව සිටි රජුගේ මලනුවෝ සිවුරු හැර පරාක්‍රමබාහු නමින් සෙන්කඩගල රජවිය. ඒ වර්ෂ 1326 පමණ විය යුතු ය.

දැතිගම්පුර පරාක්‍රමබාහු

විද්වතුන් විසින් දැදිගම පරාක්‍රමබාහු වෙනම රජෙකු ලෙස වැරදියට හඳුනාගත්තේ ඉහතින් දැක් වූ විස්තර අනුව විශ්ලේෂණය නොකළ නිසා ය. මේ නිසා දැතිගම්පුර පරාක්‍රමබාහු යනු හතර වන පරාක්‍රමබාහු රජු ම බව තහවුරු වේ.

සංදේශ කාව්‍ය

ඉහත දැක් වූ විස්තර අනුව තිසර සංදේශය ලියැවෙන්නට ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1326 දී පමණ ය. ඒ නිසා එය ලංකාවේ පැරණිම සිංහල සංදේශ කාව්‍යය වේ. පාලි වුත්තමාලා සංදේශය ලියැවෙන්නට ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1327 පමණ දී ය. පොළොන්නරු චෝළ පාලනය සමයේ ලියැවුණු පාලි මහානාගකුල (මානාවුළු) සංදේශය ලංකාවේ පළමු සංදේශ කාව්‍යය වන අතර එය බුරුමයේ කාශ්‍යප තෙරණුවන් වෙත යැවුනකි.

සටහන: මේ ලිපියේ සඳහන් කරුණු බොහොමයක් මහාචාර්ය විනී විතාරණ විසින් ඉංග්‍රීසියෙන් පළ කළ TISARA SANDĒŚA නම් කෘතියේ, කර්තෘ විසින් ලියූ Identification of Dätigama Parākramabāhu නම් ඉංග්‍රීසි ලිපියක ඇතුළත් කර තිබේ.

පාදක සටහන්

1 මූලාශ්‍රයේ මෙසේ සඳහන් ව නැති වුව ද වෙනත් රජෙකු පත්වීම නිසා එසේ විය යුතු ය.
2 කොටනවා යනුවෙන් හඳුන්වන්නේ මරා දැමීම ය. යුධ භූමියක් නිසා එසේ විය හැකි ය. එහෙත් මේ නම් කෙසේ ඇති වී දැයි පැහැදිලි නැත.
3 Inscriptions of Ceylon Vol. VII, No. 16
4 විදානපතිරණ
5 විනය පිටකය අනුව සංඝ්‍යා විසිය යුත්තේ නගරයෙන් දුනු 500කට වඩා වැඩි දුරකිනි.

මූලාශ්‍රය

  • තිසර සංදේශය, සංස්. ඒ.වී. සුරවීර සහ විමල විජයසූරිය 1991
  • දළදා සිරිත, සංස්. පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමි, ඇම්.ඩී. ගුණසේන 1955
  • නිකාය සංග්‍රහය, 1396, දේවරක්‍ෂිතාභිධානත ජයබාහු හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල 1997
  • පූජාවලිය, 1266, බුද්ධපුත්‍ර ස්ථවිර, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 3 වන මුද්‍රණය 2007
  • යාල්පාන වෛපවමාලය, මයිල්වාගනර් පුලවර්, පරි, කේ. එච්. ද සිල්වා,  රුහුණු පොත් ප්‍රකාශකයෝ, කොළඹ. 1999
  • වුත්තමාලා සංදේශය, සංස්. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි, මොඩර්න් ප්‍රකාශකයෝ 1996
  • Cūḷavaṁsa,  Part I and II, Translated from Pāli to German by Geiger W., The English translation, Rickmers, c. Mabel.; Ceylon Government Information Department, Colombo, 1953
  • Inscriptions of Ceylon, Vol. VII, ed. Sirimal Raṇawella, Archaeological Department of Ceylon, 2014
  • Queyroz, The Temporal and Spiritual Conquest of Ceylon, Fernāo de Queyroz (1688 A.D.), Tr. from Portuguese by Fr. Perera S. G. Asian Educational Services reprint 1992
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.12 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------