දෙවන ශතවර්ෂයේ දි නාගදීපය අනුරාධපුරයේ රජුගේ අමාත්යයෙකු විසින් පාලනය කළ බව ද, සිංහල භාෂාව එකල එහි ව්යවහාර භාෂාව වූ බව ද බෞද්ධ සිද්ධස්ථාන එහි ගොඩනැගෙමින් පැවති බව ද මේ රන්පත් ලිපිය සනාථ කරයි. ලංකාවේ ලියැවුණු පාලි ග්රන්ථයන්හි මෙන්ම වංශකතාවල ද නාගදීපය ගැන සඳහන් කරුණුවලින් හෙළිවන්නේ අද පවත්නා සේ නොව මෙම ප්රදේශයන්හි පුරාණයේ විසූ ජනයාගේ ජාතිය, භාෂාව හා ආගම අතින් වෙනස් නොවූ බවකි. මේ අනුව පැරණි සිංහල ජනයාගේ දේශපාලන, ආගමික හා සංස්කෘතික ඉතිහාසයට දිවයිනේ උතුරුකරය ද සෑම අතින්ම සම්බන්ධ වූ බව සනාථ වෙයි. ජනගහනයේ දෙමළ ජන අනුපාතය දිවයිනේ සෙසු ප්රදේශවලට වඩා ක්රමයෙන් මෙහි වර්ධනය වෙමින් පැවතුනත් ඉහත කී තත්ත්වය පොළොන්නරු යුගයේ අවසාන භාගය දක්වා නොකඩවා පැවතියේය.
21. වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස
20. විශිෂ්ඨ ලාංකේය පුත්‍රයෙකු වූ සී.ඩබ්ලියු. නිකලස්

දන්නෙම නැතිව 20 වැනි සටහනටත් ඇවිල්ල. මම මේ සටහනින් කියන්න යන්නෙ අපේ රටේ අතීතය ගැන අපිට හිතාගන්නත් අමාරු තරමේ අවබෝධයක් අරගත්ත විශිෂ්ඨ මිනිසෙක් ගැන. ඒ සි. ඩබ්ලියු. නිකලස් මැතිතුමා ගැනයි. නැත්නම් සිරිල් වේස් නිකලස් (Cyril Wace Nicholas). මේ සටහන කියවන ඔයාලගෙන් සමහර අය විතරයි මේ නම අහල තියෙන්නේ. ඒ වගේම අපේ රට ගැන මහ ඉහළ ආදරයක් පෙන්නන අවුරුදු දහපහළොස් දහසේ ඉතිහාසයක් ගැන කියවන අයගෙන් බහුතරයක් මේ නම අහලවත් නෑ කියන එක මට හොඳටම තහවුරුයි.
සී.ඩබ්ලියු. නිකලස් මැතිතුමා කියන්නේ මට දැනෙන විදිහට මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාගේ ගුරුවරයෙක් වගේ. මෙතුමා විශිෂ්ඨ විද්වතෙක් වුනත් එතුමා ගැන විස්තර නම් බොහොම අප්රකටයි. මෙතුමාගේ පෞද්ගලික විස්තර ගැන මේ ලේඛකයා දැනගත්තෙත් අමර හේවාමද්දුම මැතිතුමා 2007.12.30 වැනි ඉරිදා රිවිර පත්තරේට සපයල තිබුණු ‘අමර සමර’ ලිපිපෙළට අයත් ලිපියකින්. පේරාදෙණිය විශ්වවිද්යාලයේ හිටපු අලි ගැන ලියපු චාල්ස් සාන්තියාපිල්ලේ (Charles Santiapillai) ආචාර්යතුමාත් මෙතුමා ගැනත් මෙතුමා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කළ සේවය ගැනත් ලියල තියෙනවා Cyril Wace Nicholas (1898-1961): Gentleman, Scholar and the first Warden of the Wild Life Department මාතෘකාව යටතේ. මේ ලිපිය මයේ හිතේ තාම ඉන්ටර්නෙට් එකේ තියෙනවා හොයාගෙන කියවන්න. පාඩුවක් නැහැ. උදාර ලංකා පුත්රයෙක් ගැනනේ ඒ ලිපිය. හේවාමද්දුම මැතිතුමා ඒ ලිපියට නිකලස් මැතිතුමාගේ ඡායාරූපයකුත් එක්කරල තිබුනා. ඒ රූපේ තමයි මේ ලිපියටත් යොදාගෙන තියෙන්නේ. මේ රූපය හොයාගන්න අමර හේවාමද්දුම මැතිතුමා බොහෝම මහන්සි වුනා කියලත් ලියල තියෙනවා.
1898 අගෝස්තු 5 වැනි දා ගාළු පුරේ දි බර්ගර් පවුලත සාමාජිකයෙකු වශයෙන් සිරිල් වේස් නිකලස් දරුවා ඉපදිලා තියෙන්නේ. මුල් අධ්යාපනය කොළඹ රාජකීය විද්යාලයෙන් ලබපු මෙම දරුවා පසුව එංගලන්තයේ කේම්බි්රජ් විශ්වවිද්යාලයට ඇතුළු වෙලා තියෙනවා. ඒ අතරතුර අධ්යාපනය අතහැරල එංගලන්තයේ හමුදාවට එක් වුණු මොහු පළමු වැනි ලෝක යුද්ධයට සම්බන්ධ වෙලා තියෙනවා. සිදුකළ විශිෂ්ඨ සේවය වෙනුවෙන් කපිතාන් තනතුරක් ලැබුව නිකලස් මැතිතුමාව අවුරුදු දෙකක විතර සේවයකින් පස්සේ හමුදාවෙන් සමුගත්තේ යුද්ධය අතර තුවාල ලබපු නිසා. කෙනෙක් තුවාල වෙන එත හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මේ තුවාල වීම නම් ඇත්තටම අපේ රවේ වාසනාවට වෙච්ච දෙයක් කියලමයි මේ ලේඛකයාගේ හිත කියන්නේ. රණබිමේ දී දැක් වූ නිර්භීත බවට පදක්කම් ලබලත් තියෙනවා. අවුරුදු 22ක් විතර වෙද්දි මෙතුම ලංකාවට නැවත එනවා.
ලංකාවට පැමිණිලා ලංකාවේ සිවිල් සේවා විභාගේ පළමු වැනි තැනට සමත් වෙලා එහි සේවයට සම්බන්ධ වෙනවා. යුදධයේ දි තුවාල ලබපු ඔහුට කළ විශේෂත්වය නොසලකා ඔහු මඩකලපුවේ සහකාර සුරාබදු නිලධාරි (Assistant Superintendent of Excise) විදිහට වැඩ භාර ගෙන යනවා. කැපී පෙනෙන සේවාවක් ඉටු කළ නිසාම ඔහු නියෝජ්ය සුරාබඳු කොමසාරිස් (Deputy Commissioner of Excise) විදිහටත් පත් වෙනවා. ඊට පස්සේ අලුතින්ම ආරම්භ කළ වනජීවි දෙපාර්තමේන්තුවේ පළමු වැනි ප්රධානියා විදිහට 1950 දෙසැම්බර් 1 වැනි දා පත් වෙන්නේ. මේ ආයතනයේ දි කරන ලද සේවාව ගැන මට මෙතැන කියන්න ඉඩක් නෑ. අවශ්ය කෙනෙකුට චාල්ස් සාන්තියාපිල්ලේ ආචාර්යතුමාගේ කලින් කිවුව ලිපිය හොයාගෙන කිියවන්න. සාන්තියාපිල්ලේ මැතිතුමාට අනුව නිකලස් මැතිතුමාගේ කාලේ තමයි ලංකාවේ වනජීවි සංරක්ෂණයේ ස්වර්ණමය යුගයේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු ගැන සඳහන් නොකර ලංකාවේ වනජීවි සංරක්ෂණය ගැන කතාකරනවා නම් ඒක අසම්පූර්ණ කතාවක්. එතරම්ම ඔහුගේ දායකත්වය කැපී පේනවා.
තම ගවේෂණශීලි විශිෂ්ඨ භාවයත්, තීක්ෂණ අනුමාණ ඥානයක් විදහා දැක් වූ පැරණි සෙල්ලිපි පිළිබඳ සොයාබැලීම අරඹලා තියෙන්නේ මෙතුමා වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලෙමයි. ලංකාවේ දුෂ්කර පළාත්වල කැලෑ අස්සේ යද්දි හමුවුණු සෙල්ලිපි කියවීම මෙතුමා අරඹලා තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ ප්රධානියා වීම වගේම යුද්ධයේ දී ලැබූ දුෂ්කර අද්දැකීම් මේ ගවේෂණ සඳහා ලොකු රුකුලක් වෙන්න ඇති.
මේ ගවේෂණ කරල ඊට පසුවයි ප්රමුඛ පෙළේ සඟරාවලට ලිපි ලියන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ සඟරා අතර the Journal of the Ceylon Branch of the Royal Asiatic Society, University of Ceylon Review වගේ ඒවා තියෙනවා. පරණ දේවල් ගැන මහන්සි වෙලා හොයන අයට ඉතිං මේව වෙනම හඳුන්වලා දෙන්න අවශ්ය නෑනේ නේ ද?
නිකලස් මැතිතුමා අපේ ඉතිහාසය හෙළි කිරීමේ වැඩ බොහොමයකට සම්බන්ධයි. ලංකාවේ ඉතිහාසය දැනගන්න තියෙන වැදගත් ම පොතක් වන A concise history of Ceylon: from the earliest times to the arrival of the Portuguese in 1505 පොත නිකලස් හා පරණවිතාන කියන විශිෂ්ඨයින් දෙ දෙනාගේ ඥානයෙන් එළිය උණු පොතක්. 1961 දි පළ වුනේ. මේ පොත දැන් සිංහලට පරිවර්තනය වෙලා පළ වෙලා තියෙනවා. හිතල බලන්න දෙයක් මේ මාතෘකාවෙම තියෙනවා. ඇයි මේ පඬිවරු දෙදෙනා පොතේ නම මුළට The කියල දාන්නේ නැතිව A කියල දැම්මේ කියන එක. අදටත් අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න තියෙන හොඳම පොතක් වන Univesity of Ceylon History of Ceylon පොතේ ලිපි කීපයක්ම මෙතුමා ලියපුවා. ඒ විතරක් නෙවෙයි, මෙම විශිෂ්ඨ කෘතියේ මුල් කොටසේ සංස්කාරක මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් ද සේවය සපයලා තියෙන්නේ කීර්තිමත් විද්වතුන් වුණු සිරිමත් නිකුලස් ආටිගල, ඩබ්ලියු.ජේ.එෆ්. ලබ්රෝයි, එස්. නටේසන් හා මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා සමඟ සමපෙළ සිටිමින්. ඊට පසුවයි රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවෙන් පළකළ Historical topography of ancient and medieval Ceylon නම් පොත පළ වුනේ. මේ විෂය සම්බන්ධයෙන් ලියැවුණු මුල් ම පොතක් වගේම අදටත් තියෙන හොඳම පොත කිවුවොත් කාටවත් විරුද්ධ වෙන්න බෑ. මේ පොතත් සිංහලයට පරිවර්තනය වෙලා තියෙන්නේ. ලංකාවේ පැරණි තැනක් ගැන හොයාබලන කෙනෙක් මේ පොත මඟහැරියොත් ඒ ලියනකියන දේ ලොකු අඩුවක් ඇතිවෙන එක වලක්වන්න බැ.
මෙතුමා සෙල්ලිපි කියවලා තියෙන විදිහ බලද්දි පුදුමත් හිතෙනවා. අද අපි දුෂ්කර තැනකට ගිහිල්ලා සෙල්ලිපියක් බලල ඒ ගැන පස්සේ හොයද්දි නිකලස් ඒ ගැන කලින්ම ලියල. ඒ සෙල්ලිපිවල අන්තර්ගතය ගැනත් කියල. සෙල්ලිපිය පළ කරල නම් නෑ. සෙල්ලිපිය පිටපත් කරල කියවගෙන යද්දි තමයි පැහැදිලි වෙන්නේ නිකලස් මැතිතුමා කියල තියෙන දේ හරියටම හරි කියල. මේ අස්සේ දුක හිතෙන දෙයකුත් කියන්න ඕන. නැත්නම් අඩුවක්. දැන් ඉන්න සමහර ගවේෂකයෝ මේ නිකලස් මැතිතුමා ලියල තියෙන ඒවා බලාගෙන හරියට තමන් හොයාගත්ත වගේ ඒ ගැන කියනවා, නිකලස් මැතිතුමාගේ නම නිකන්වත් කියන් නැතිව. හැබැයි පරණවිතාන මහාචාර්යතුමා නම් අදාළ ගෞරවය හැම විටම නිකලස් මැතිතුමාට දීලා තියෙනවා. සැබෑ ප්රාඥයින් බැබලෙන්ට වෙනත් අයෙකුගේ ප්රභාව යොදාගන් නෑ කියන කතාව තමා මෙයින් තහවුරු වෙන්නේ.
මේ උදාර ශ්රී ලාංකේය පුත්රයා අවුරුදු 63ක් වගේ කාලයක් ජීවත් වෙලා 1961 අගෝස්තු 14 වැනි දා උපන් බිමට උදාර සේවයක් කළ නිහඬ මිනිසෙකු වශයෙන් සමු ගත්තා. එතුමා ජනප්රියතාවවත්, ප්රසිද්ධියවත් කිසිසේත්ම අපේක්ෂා කරල නැති බවක් තමා පේන්න තියෙන්නේ. ඒ නිසානේ පොටොවක් වත් හොයාගන්න බැරි. මෙතුමා විවාහ වෙලත් නැහැ. අපිට යුතුකමක් තියෙනවා මේ වගේ උදාර මිනිසුන් ගැන හොයා බලන්න.
ඒ වගේම මේ වසංගතය ඉවර වෙනකල් කරුණාකර ගෙදරට වෙලා ඉන්න. මම හිතන විදිහට රටේම ඇවිද්ද නිකලස් මැතිතුමා හිටිය නම් එතුමත් මේ දවස්වල ගෙදර තමා ඉන්නේ.
චන්දිම අඹන්වල
2020.04.01 / 10.31 PM
ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු
‘’කෙළවරක් නැති සම්පත් මුහුදේ සැඟවී තියෙනවා නමුත් අපි අපේ දරුවන්ව මුහුදට බය කරලා හදන්නේ. අපේ දෙමව්පියෝ එහෙමයි දැනුත් එහෙමයි. ලංකාව වටේම මුහුද තිබුනට, කෙළවරක් නැති සම්පත් මුහුදේ සැඟවී තිබුනට අපි හැම කෙනාම දරුවන්ව මුහුදට බය කරලා තමයි හදන්නේ ‘මුහුදෙ යන්න එපා’ ‘නාන්න එපා’ කියලා කිමිදුම් කටයුතු ගත්තහම ඒ විදිහටම ඒ කරුණ බලපානවා. ලංකාවේ කිමිදුම් ක්ෂේත්‍රයට එන පිරිස ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම කාන්තා පුරුෂ වශයෙන් ගත්තේ කාන්තා ප්‍රමාණය ඉතාමත් අඩුයි’’
ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු පිළිබඳව විස්තරාත්මක දැනගැනීමට රසික මුතුකුමාරණ මහතා විසින් පවත්වන ලද දේශනය නැරඹීමට එක්වන්න.
ඉසුරුමුණිය
එන්.එච්. සමරසිංහ


හෙළයන්ගේ පළමු වැනි අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිට වූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයකි. එමෙන්ම හෙළ ඉතිහාසයේ ද වැඩිම කාලයක් අගනුවර බවට පත්ව තිබු අනුරාධපුරය, ශ්‍රී ලංකාවේ මෙතෙක් හෙලිදරව් කරගෙන ඇති වැඩිම ඓතිහාසික ස්මාරකයන් ප්‍රමාණයකට හිමිකම් කියන නගරය ද වෙයි. අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ යන බොදු බැතිමතුන්ට පවා මේ බොහෝ ඓතිහාසික පුජනිය ස්ථාන මඟහැරි යයි. එහෙත් අනුරාධපුර අටමස්ථානයට අයත් නොවන සිද්ධස්ථානයක් වුවත් මේ හැමදෙනාම පාහේ නොවරදවාම සැදැහැසිතින් යන ස්ථානයකි ඉසුරුමුණිය රජ මහා විහාරය.
ඉසුරුමුණිය මිහිඳු මා හිමියන් වැඩසිටි ස්ථානයකි. එකල මෙය ‘මේඝගිරි‘ විහාරය නමින් හැඳින්වූ බව පෙනේ. වර්ෂාව ලබා ගැනීම සඳහා උත්සව පැවැත් වූ මෙඝ වන නම් රජතුමාගේ මගුල් උයන පිහිටා ඇත්තේ ද මේ ආසන්නයේය. දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදි වූ එතුමාගේ බෑනා කෙනෙකු වූ අරිට්ඨ කුමාරයා ඇතුළු පන්සියයක් වෛශ්‍ය කුලයේ දරුවන් වෙනුවෙනි. වංශ කතා පොත්වල මේ විහාරය ‘ඉස්සරසමනාරාම‘, ‘කසුප්ගිරි වෙහෙර‘ ආදී නම් වලින් හඳුන්වා ඇත.
බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. හතර වැනි සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය.


ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකකි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදි වූ මේ විහාරගෙයට පිවිසීමට ගලින් නිමකළ පඩි කිපයක් ඇත.


පඩි පෙල දෙ පස මුරගල් දෙකක් හා කැටයම් කළ කොරවක් ගල් හා ඉදිරිපස සඳකඩ පහනක් තිබේ. විහාරයේ උළුවස්ස, මකර තොරණ, ආසනය හා ඉඳි බුදු පිළිමය එකම ගලෙන් නෙලා ඇති බව කියති. ලංකාවේ ගලෙන් නෙළන ලද පළමු වැනි බුදු පිළිමය මෙය බවට අදහස් ප්‍රකාශ වී ඇත. මේ පිළිමය බදාමෙන් පිරියම් කොට වර්ණාලේපිත කොට ඇත. පිළිමයට පිටුපසින් තවත් මකර තොරණක් නිමවා ඇත. විහාරයේ බිත්තිවල සූවිසි විවරණ සිතුවම් වේ.
අනෙක් විහාරගෙය මෑතක දී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ. විහාරගේ කෙලවර මිහිඳු ගුහාව ලෙස හැඳින්වෙන ගල් ගුහාව දැකිය හැකිය. අඩි 20ක් පමණ දිග, අඩි 10ක් පමණ උස මේ ගුහාව කටාර කොටා පිළියෙළ කොට ඇත. ගුහාවතුල මිහිඳු හිමියන් සැතපුණු බවට විශ්වාස කෙරෙන ගල් ආසනයක් ඇත. විහාරයේ මෑතක දී සිතුවම් කරන ලද ඉසුරුමුණියේ ඉතිහාසය දැක්වෙන බිතුසිතුවම් රාශියකි.


ඉසුරුමුණි ගල් පර්වතය මත අඩි 30ක් පමණ වූ මළුවේ ඉදිකර ඇති චෛත්‍යය අඩි 25ක් පමණ උසකින් හා අඩි 75ක් පමණ වට ප්‍රමාණයකින් යුක්තය. මෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන්කොට ඇති බව විශ්වාසයයි.


ශ්රී මහා බෝධියෙන් හටගත් අෂ්ටපලරුහ බෝධීන් වහන්සේලාගෙන් එකක් දෙවන පෑතිස් රජතුමා විසින් මෙහි රෝපණය කොට ඇත.
ඉසුරුමුණි විහාරයේ තවත් වැදගත් අංගයක් වන්නේ එහි ඇති විශිෂ්ට ගල් කැටයම්ය. චෛත්‍යය ආසන්නයේ ගලක කැටයම් කළ සිරිපතුලකි. ලෙන් විහාරයට ඇතුළුවන පඩි පෙලෙහි සඳකඩ පහණ, මුරගල් කොරවක් ගල් හා මකරතොරණ ආදියෙහි ඇති කැටයම් ඉතා අලංකාරය.


තවත් විශේෂ කැටයමක් වන්නේ ලෙන් විහාරයේ දකුණු පැත්තේ ගලේ නෙළා ඇති හත්වන සියවසේ පල්ලව සම්ප්‍රදායට නෑකම් කියන අශ්ව හිස හා මිනිස් රුවේ කැටයමයි.


මේ කැටයම කුමක්දැයි තවම නිගමනයකට පැමිණ ඇති බවක් නොපෙනේ. මෙහි දැක්වෙන්නේ සෙබලෙකු හා ඔහුගේ අශ්වයා බව හෙන්රි පාකර් නම් නිලධාරියෙකු කියා ඇත. ආනන්ද කුමාරස්වාමි මහතා කියන්නේ මේ කපිල ඉසිවරයා හා ඔහුගේ අශ්වයා බවයි. මේ හින්දු සාධුවරයෙක් බව ලෝංහර්ස්ට් නම් පුරාවිද්‍යාඥයා කියන අතර මේ මහා ඇලෙක්සැන්ඩර් රජු බව ඩී.ටී. දේවේන්ද්‍ර මහතාගේ අදහසයි. එල්.ටී.පී. මංජුශ්‍රී මහතා මේ කැටයමෙන් දැක්වෙන්නේ අනංගයා බව කියයි. මේ වර්ෂාවට අධිපති පර්ජන්‍ය නම් දෙවියා හා අග්නි නම් දෙවියා බවයි සෙනරත් පරණවිතාන මහතාගේ අදහස. කෙනෙක් මේ අවලෝකිතේශ්වර දෙවියන්ගේ බව කියන අතර කෙනෙක් මේ අයියනාර් දෙවියා බව කියනවා. ජේ.බී. දිසානායක මහතාගේ අදහස මේ අනුරාධපුරය ගොඩනැඟූ පණ්ඩුකාභය රජතුමා හා එතුමාට රජවීමට උදව්කල චේතියා නම් වෙලඹකගේ වෙස් ගෙන සිටි යකිනියගේ බවයි.


ලෙන් වීහාරය දකුණු පැත්තේ ඇති පොකුණට මායිම්ව ඇති ගල් පර්වතයේ ජලයේ බැස ප්‍රීති වෙන ඇතුන්ගේ කැටයමක් පෙනේ. මෙඝගිරි ලෙස හැඳින් වූ මේ විහාරයේ වර්ෂාව පතා පුදපුජා පවත්වා ඇති බැවින් වර්ෂාව ලැබීමෙන් ඇත්තු සතුටු වෙන කැටයමක් නෙළා ඇතිබව සිතිය හැක.


මේ ස්ථානයේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ මේ පරිශ්‍රයේ තිබී හමුව ඇති අනුරාධපුර යුගයේ පුරාවස්තු ප්‍රදර්ශනය කෙරේ. මෙහි ඇති ඉතා වැදගත් ප්‍රදර්ශන භාණ්ඩ දෙකක් ලෙස පෙනෙන්නේ ඉසුරුමුණි පෙම් යුවල නිරුපනය වන ගල් කැටයම හා රජ වාසල දර්ශනයක් අඩංගු වන ගල් කැටයමයි. මේ කැටයම් මේ ආසන්නයේ ඇති රන්මසු උයනේ තිබී සොයාගෙන ඇත. ගුප්ත මුර්ති කලාවේ ආභාශය ලැබී ඇති බවට සැලකෙන මේ මුර්ති පස්වන සියවසට පමණ අයත් සේ සැලකේ.


ඉසුරුමුණියේ ලෝකප්‍රකට කැටයම වී ඇත්තේ පෙම් යුවලක් නිරුපනය කර ඇති කැටයමයි. අඩි 3 අඟල් 1ක් උස හා අඩි 2 අඟල් 3ක් පළල චතුරශ්‍රාකාර ගල් පුවරුවක අර්ධ උන්නත වශයෙන් මෙය නෙළා ඇත.
ගල් තලයක් මත වාඩි වී සිටින තරුණයා පිටුපසින් සිටින ආකාරයටත් ඔහුගේ වම් කලවය මත වාඩිවී සිටින තරුණිය ඉදිරියෙන් සිටින ආකාරයටත් නෙළමින් පෙම් යුවළ ගල් පුවරුවේ සමබරව කැටයම් කොට ඇති අන්දම අපුරුය. තරුණයාගේ හා තරුණියගේ ආංගික අභිනයන්ගෙන් හා සංකේත වලින් ඔවුනොවුන් කෙරෙහි වන ප්‍රේමය හා ස්නේහය මෙන්ම සෘංගාරය ද ඉස්මතු කොට දක්වා ඇත. මෙය හෙළ කලාකරුවාගේ නිර්මාණ කෞෂල්‍යයේ විශිෂ්ටත්වය විදහා දක්වන නිර්මාණයකි.
මේ කැටයම ගැන ද විවිධ මත පල වී තිබේ. මේ දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය හා ඔහුගේ සිත්ගත් සැඩොල් තරුණියක වූ අශෝකමාලාගේ බවයි සෙනරත් පරණවිතාන මහතාගේ අදහස. මේ ශිව හා පාර්වතී ලෙසත්, මංජුශ්‍රී හා ශක්ති ලෙසත්, සෙබලෙකු හා බිරිඳ ලෙසත් විවිධ අදහස් පල වී ඇත. එක් ජනශ්‍රැතියකට අනුව මෙහි නිරුපනය කර ඇත්තේ ජනක නම් සිගිරි සිතුවම් ඇඳි චිත්‍ර ශිල්පියා හා පළමු වන කාශ්‍යප රජුගේ දියණියක වන උප්පලවණ්‌ණාය. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අදහස වන්නේ මේ පණ්ඩුකාභය රජතුමා හා ස්වර්ණපාලි කුමාරිකාව බවයි.
මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ හමුදා සේවයට නික්මෙන හෝ සේවයෙන් පසු ආපසු පැමිණෙන සෙබලෙකු හා ඔහුගේ සොඳුරිය බවයි. පිරිපුන් ශරීරය, කෙටි කර කැපූ කොණ්ඩය, පිටුපස දැක්වෙන කඩුව, පැළඳ ඇති ආභරණ හා කොට කලිසමක් වැනි ඇඳුම නියම ක්‍ෂත්‍රියකුගේ ප්‍රතිරූපය ප්‍රකට කරවන බව ඔහු කියයි.
මෙම කැටයම අභිනය දර්පණයේ දැක්වෙන නාට්‍ය කලාවේ අභිනයන් සමගද සසඳමින් මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇගයීමට ලක්කරයි. පිරිමි කැටයමේ දකුණතින් වියෝව සිටි අඹුසැමියන් හමු වූ විට කඳුළු පිසදා හැරීම සංකේතමත් කරන ‘මයුර මුද්‍රාව’ ද, උරය උස්සා එහි ස්පර්ශවන සේ හිස පහත කරමින් දක්වන සොඳුර දැකීමෙන් ඇතිවන ප්‍රීතිය හඟවන ‘නිහංචිත මුද්‍රාව’ ද, දෙනෙතින් කරන ඉඟියෙන් ‘සෘන්ගාර මුද්‍රාව’ ද දැක්වෙන බව ප්‍රකාශ කරයි.
ගැහැණු රුපය දැක්වෙන කැටයමේ දකුණතින් අප දෙදෙනා නැතහොත් ගැහැණියකගේ හා පිරිමියෙකුගේ සංගමය දැක්වෙන ‘අර්ධ පතාක’ හෝ ‘ත්‍රිපතාක’ මුද්‍රාව ද, මඳක් ඇලවුණු හිසින් හා බෙල්ලෙන් ප්‍රේමාතුර භාවය දැක්වෙන ‘අංචිත මුද්‍රාව’ ද, අනෙකෙකුගේ කැමැත්තට අවනත වීම දැක්වෙන අඩක් පියවුණු ඇස් දෙකෙහි ඉඟියෙන් ‘නිමීලිත මුද්‍රාව’ ද නිරුපනය කොට ඇති බව කියයි.
ඒ අනුව සෙබලෙක් තම සොඳුරිය ගෙන් වෙන්ව සිට ආපසු පැමිණි කල ඔවුනොවුන් තුළ හටගන්නා අපරිමිත ආනන්දය කැටයම් කරුවා අපූරුවට සටහන් කර තිබෙන බව වික්‍රමසිංහ මහතා පැහැදිලි කරයි.


අනෙක් වැදගත් කැටයම වන්නේ රජ පවුලක එක්තරා අවස්ථාවක් දැක්වෙන ගල් කැටයමයි. මේ කැටයමේ මැද අන් අයට වඩා තරමක් උස අසුනක රජතුමා අසුන්ගෙන සිටි. ඔහු දකුණත ඔසවා යමක් පැහැදිලි කරන බවක් පෙනේ. ඔහුගේ වමත දේවියගේ උකුල මත ඇති අතර දේවිය දෙ අතින්ම ඒ අත අල්ලාගෙන සිටි. පසෙකින් සිටින කුමරා දෙ අත් පපුව මත තබාගෙන සාවධානව යමකට ඇහුම්කන් දෙන බවක් පෙනේ. මෙහි සිටින්නේ දුටු ගැමුණු රජතුමා, දේවිය හා සාලිය කුමරු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. මේ සාලිය කුමරා හා සම්බන්ධ කතාවක එක අවස්ථාවක් විය හැකි බව ඔහුගේ අදහසයි.
ඉසුරුමුණි පරිශ්‍රයෙන් හමු වූ අප්සරා, කින්නර, දේව ආදී නොයෙක් කැටයම් සහිත පුවරු ඉසුරුමුණි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.04.23 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
14. යාපනයෙන් හමු වූ පැරණිම ගල් මෙවළම් – ඇචුලියානු අත්පොරො

මේ අපි කතාකරන දේ සමහර විට ලංකාවේ හමු වෙන පැරණිම මානව නිර්මාණ වීමට ඉඩ තියෙනවා. වටිනාකමේ නිමක් නැහැ. පුරාවිද්‍යාඥයෙකුට මැණික් වලටත් වඩා වටින දෙයක් ගැනයි මේ අපේ කතාව. ලංකාවේ උතුරු කොනේ පේදුරු තුඩුව ආසන්නයේ තියෙන මායක්කායි කියන තැනින් හමු වුනා යැයි කියන ගල් ආයුධ කීපයක් ගැනයි මේ කතාව.
මේ ගල් ආයුධ හමුවෙලා තියෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාරයවරයෙකු වන සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා මැතිතුමාට. 1984 වසරේ කළ කැනීමකින් හමු වුනා කියලයි කියන්නේ. අත් පොරෝ තුනක් මයේ හිතේ. හදල තියෙන්නේ කහඳ (chert) කියන පාෂාණයෙන්. මේ ගල් ආයුධ ගැන හෝ ඒවායේ වටිනාකම ගැන ඒ මහාචාර්යවරුනට වැඩි අවබෝධයක් තිබිල නැහැ. ඒ කාලේ එල්ටිටිඊ යුද්ධය තදටම තිබුණු කාලයක්නේ. පුරාවිද්‍යාව වගේ දේවල් සම්බන්ධයෙන් මේ පැත්ත හා කොළඹ අතර තිබුනේ අවම සම්බන්ධයක්. යුද්ධය අවසන් වෙලා 2010 විතර තමා මේ ගල් ආයුධ කීපය ක්‍රිෂ්ණරාජ මැතිතුමා විසින් ලංකාවේ ඉන්න ගල් ආයුධ පිළිබඳ විශේෂඥයෙකු වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් විදිහට සේවය කරපු ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමාට මේවා පෙන්නලා තියෙන්නේ. මේක දැක්ක ගමන් මෙහි වටිනාකම එතුමා තේරුම් ගත්ත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ මානව නිර්මාණ කොළඹට ගෙනත් ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමාට බලන්න සලසනවා. ඔවුන් දෙදෙනාගේ නිගමනය වුනේ මේ ඇචුලියානු සම්ප්‍රදායට අයිති ගල් මෙවළම් කියල, අත් පොරෝ (Acheulean hand-axe) කියල. රූපීය ලක්ෂණ අනුවයි එහෙම කියන්නේ. පස්සේ කලෙක ලංකාවට පැමිණි මයිකල් පැට්‍රාලියා කියන දැනට ලොකේ ගල් ආයුධ පිළිබඳ පර්යේෂණ සිදුකරන මහාචාර්යවරයා මේ ගල් ආයුධ පරික්ෂා කරල කියල තියෙන්නේ මේ ආයුධ ඇචුලියානු අත් පොරෝ කියන එක පැහැදිලියි කියලයි. මොනවද මේ ඇචුලියානු අත්පොරෝ. ඒවායේ වැදගත්කම මොකක් ද?
ඇචුලියානු අත්පොරෝ කියන්නේ මීට අවුරුදු ලක්ෂ ගණනාවකට පෙර ලෝක මට්ටමින් ව්‍යාප්ත වුණු ගල් ආයුධ සම්ප්‍රදායක්. පුදුම හිතෙනවා, සන්නිවේදන තාක්‍ෂණයවත් වැඩිල නැති කාලෙක මේ වගේ දෙයක් ලෝකෙ පුරා ම ව්‍යාප්ත වෙනව කිය එක. මේ ගල් ආයුධ ඇමරිකානු යුරෝපය අප‍්‍රිකාව හා ආසියා කියන මහාද්වීප කීපයේම ව්‍යාප්ත වෙලා තියෙනවා. ගස් කපල වනාන්තර මෙල්ල කරනවා වගේ දේ වලටයි මේ අත්පොරො භාවිත කරල තියෙන්නේ. මේ තාක්ෂණය අත්කරගෙන සිටියේ හොමෝ ඉරෙක්ටස් (Homo erectus) මානවයා කියලයි කියන්නේ. පළමුව ශරීරය කෙළින් කරගෙන දෙ කකුලින් හිටගත් මිනිසා. මේ ගල් ආයුධවල පැතිරීම අනුව, මේ මිනිසාගේ ව්‍යාප්තියත් පෙන්නුම් කරනවා. අදින් වසර ලක්‍ෂ 16ත් 5ත් අතර කාලයේ තමා මේ මානවයා ජීවමානව සිටි බව සැලකෙන්නේ. මේ ගල් ආයුධ ලංකාවෙන් හමු වෙනවා කියන්නේ හොමෝ ඉරෙක්ටස් ලංකාවේ හිටිය කියන එක ද? ඇචුලියන් ගල් ආයුධ ව්‍යාප්තිය ගැන බලන විට පෙනී ගිය දෙයක් තමා ඉන්දියාවේ කාවේරි නදියෙන් දකුණු පැත්තට මේ තාක්‍ෂණය ආවේ නැ කියන එක. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මැතිතුමා මේ සඳහා හේතු කීපයක් ඉදිරිපත් කරනවා. එකක් තමා මෙ පොරෝ සකස් කිරීම සඳහා ගැලපෙන අමුද්‍රව්‍ය මේ කලාපයේ නොමැති වීම. තියෙන ගල්වලින් මේ වගේ ඒව හඳන්න බැහැ. පැලෙනවා. තවත් කාරණයක් තමා මෙ කලාපයේ තියෙන රූස්ස වනාන්තර මේ පොරෝවලින් කපල මෙල්ල කරන්න පුළුවන්කමක් නැතිකම.
ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා ලංකාවේ දකුණු කලාපයේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ අනුව තහවුරු වෙලා තියෙනවා අදින් වසර 125,000කට පෙර ආදිම හෝමෝ සෙපියන්ස් මානවයින් මේ කලාපයේ සිටි බව. ඒ අවස්ථාවේ සිදුකළ තක්සේරුවක් තමා ලංකාවේ උතුරු පළාතේ ඊට වඩා පැරණි නැත්නම් අදින් වසර ලක්ෂ 5ක් දක්වා ඇත කාලයේ මිනිසුන් සිටිමට තිබෙන හැකියාව වැඩියි කියන කාරණය. ඉතිං මේ අත් පොරෝ හමුවීමත් සමඟ මේ කිවුව තක්සේරුව අඩමාන වශයෙන් තහවුරු වෙනවා. ඇයි අඩමානයි කිවුවේ බලයි දැන්. මේ ගල් ආයුධ ලැබිල තියෙන්නේ විධිමත් පුරාවිද්‍යා කැනීමකින් නෙවෙයි. පුරාවිද්‍යාවේ දි නියමානුකූල විදිහට පස් තට්ටු තුළින් අනාවරණය නොවන සාධකවලට වැඩි පිළිගැනිමක් නැහැ, නැත්නම් පුරාවිද්‍යා අර්ථකථන සඳහා සම්බන්ධ කරගන්නේ නැහැ. එහෙම කරත් ඊට අදාළ නිගමන දුර්වල වෙනවා.
දැන් ලංකාවේ ඉන්න ප්‍රාග් ඉතිහාසඥයින්ට තියෙන විශාලම අභියෝගයක් තමා මේ ගැටලුව විසදා ගන්න එක. මේක විසඳගත්තොත් අපේ අතීතය අදින් අවුරුදු ලක්ෂ 5ට එයා යනව. ඒකට ඒ ස්ථානය විධිමත් විදිහට කැනීම් කරන්න ඕන. අපිට ඒකට සල්ලි හොයාගන්න එක ලේසිපාසු නැහැ. නමුත් අපි ඒ දිහාවේ සුභවාදිව බලාගෙන ඉමු. ලංකාවේ ප්‍රාග් ඉතිහාසඥයෝ මේ ප්‍රශ්නය විසඳනව කියන එක මට විශ්වාසයි.
අපි හරිම ආසයි හීනවල ජීවත් වෙන්න. ඒ ලංකාවේ අයගේ හැටි වෙන්න ඇති. ඒකනේ මිත්‍යාව බව දැනදැනත් ඒ දිහා ඇත්ත වගේ බලාන ඉන්නේ. ටීවි එකේ රෑට යන ඉන්දියානු කතා දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ. මේ කතාව මේ සටහන කියවන හැමොටම අදාළත් නෑ කියල මම දන්නවා. ඒ වගේ කතා දැන් මෙහෙත් හදනවානේ. මේ මිත්‍යාව පරාජය කළොත් අපි ජාතියක් විදිහට දිනනවා. එහෙම නැත්නම් හිත සනසාගන්න විතරයි තියෙන්නේ, ලෝක සොභාවය මේකයි කියල.
කොළඹ, ලන්දේසි බලකොටුව හා එහි අවශේෂ
ක්‍රිෂේන් මෙන්ඩිස්
ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලය
කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ රජ්‍යදහනියේ ප්‍රධාන වරාය ලෙස කොළොන්තොට ස්ථාපිත පසු ලංකාවේ වෙළඳාමේ ප්‍රබල කේන්ද්‍රයක් බවට වරාය හා එහි වටා ගොඩනැගුණු ජනාවාසය පත්විය. 1505 දී ලංකාවට ගොඩබැසි පෘතුගීසින් කොළඹ වරාය ඔවුන්ගේ මධ්‍යස්ථානය ලෙස තෝරා ක්‍රමයෙන් එය විශාල බලකොටු නගරයක් ලෙසට පරිවර්තනය කළේය.
පෘතුගීසින් විසින් 1565 දී කෝට්ටේ නගරය අතහැර දැමීමෙන් පසු ඔවුහු දොන් ජුවන් ධර්මපාල රජු හා කෝට්ටේ පුරවැසියන් කොළඹට ගෙන ගියහ. එසේ අද කොටුව කියන ප්‍රදේශයේ තිබූ පෘතුගීසි කොළඹ බලකොටුව අද පිටකොටුවේ 4 වැනි හරස් වීදිය තෙක් වර්ධනය විය. මෙලෙස 1565 දී විශාල වූ කොළඹ නගර අද කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ පැතිරී තිබූ අතර නගරය වටා ප්‍රාකාරයකින් හා වැවකින් (අද බේරේ වැව) ආරක්ෂා කරන ලදී. මෙම කොළඹ බලකොටු නගරය ධර්මපාල රජුගේ මරණය තෙක් කෝට්ටේ රාජදහනියේ නව අගනුවර වුයේය.


1640 සිට ලන්දේසින් ද කන්ද උඩ රට රාජදහනිය ද සහ පෘතුගීසින් අතර ඇතිවූ යුද්ධයෙන් පෘතුගීසි බලකොටු ක්‍රමයෙන් ක්‍රමයෙන් වැටී 1655 වන විට කොළඹ, මන්නාරම හා යාපන කොටු පමණක් ඉතිරි විය. කොළඹ බලකොටු නගරය අල්ලාගැනීමට 1655 ඔක්තෝබර් මාසේ දී මහා සටන ඇරඹිණි. මෙම පෘතුගීසි බලකොටු නගරය 1565 සිට සටන් කිහිපයකට මුහුණදී නොනැසී පවතී නමුත් අවසානයේදී 1656 මැයි මස 12 වැනි දා ලන්දේසීන්ට යටත් වූහ.
ලංකාවේ වෙළඳාම පාලනය කිරීම සඳහා කොළඹ වරාය හා නගරයේ ඇති වැදගත්කම දැනන් සිටි ලන්දේසීන් නගරය අත්පත් කරගැනීමෙන් පසු වහාම උඩ රට හමුදාව ඇතුළුවීම අවහිර කොට ඔවුන් කොළඹ නගර තමන්ට තබා ගත්හ. මෙයින් කෝපයට පත් දෙ වැනි රාජසිංහ රජු කොළඹ අවට ප්‍රදේශවල ජනතාව රැගෙන උඩ රටට ගෙන ගිය අතර කෙටි කලකට ලන්දේසීන්ට විරුධව කටයුතු කළේය.
නගරය අල්ලාගනීමේ දිගු සටනේ දී නැගෙනහිර ප්‍රාකාරයේ බොහොමයක් නටබුන් වී තිබූ අතර එහි අවට ගොඩනැගිලි බොහොමයක් ද විනාශ විය.
නගරය ඔවුන්ගේ පාලනය යටතට පත්වීමත් සමඟම, උඩරටින් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානයෙන් ලන්දේසීන් වහාම නැඟෙනහිර ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ.
නමුත් ලන්දේසි නාගරික සැළැස්ම් ලක්ෂණයක් වූ වඩාත් විධිමත් හා ක්‍රියාකාරී පද්ධතියක් මත පෘතුගීසි කොළඹ නගරය මුළුමනින්ම නැවත ඇඳීමට හා ගොඩනැඟීමට ලන්දේසි සැලසුම්කරුවන් තීරණය කර තිබුණි.
එවිට නගරය හරහා දිවෙන දිය පහර මධ්‍ය රේඛාවක් ලෙස ගත් ඔවුහු, ඔවුන්ගේ බලකොටුව බටහිර දෙසටත්, නේවාසික නගරය නැගෙනහිර දෙසටත් සැලසුම් කළහ. බටහිර දෙසින් බලකොටුව “කස්ටීල්” (Casteel) ලෙසත් නැගෙනහිරට නගරය “ඕඩ් ස්ටැඩ්” (Oude Stad or Old City) ලෙසත් හැඳින්විණි. මෙය අද දකින කොටුව සහ පිටකොටුවේ ආකෘතිය සාදන ලදී. 1650 දශකයේ අග භාගය වන විට ඔවුන් මුළු පෘතුගීසි නගරයම (ප්‍රාකාර සහ ගොඩනැගිලි) කඩා දැමීමට පටන් ගත් අතර 1670 දශකයේ වන විට සම්පූර්ණයෙන්ම නව නගරයක් සහ බලකොටුවක් නැවත ගොඩනඟා තිබුණි.


“කස්ටීල්” නැමති ප්‍රධාන බලකොටුව (The Casteel or Fort)
“කස්ටීල්” ලෙසින් හැඳින් වූ මෙම බලකොටුව එවකට ලන්දේසි බලකොටු සැලසුම් මත නිර්මාණය කර ඇති අතර ප්‍රාකාරයකින් සම්බන්ධ කර ඇති “බැස්ටියන්” (Bastion) නවයකින් සමන්විත විය. වරාය පිහිටුවන ලද වරාය තුඩුවේ (ගල්බොක්ක) කුඩා පරිවාරික බලකොටු (Gun Battery) තුනක් (පසුව දෙකකට අඩු කරන ලදී) ඉදිකරන ලද අතර ඒවා ආරක්ෂක-ගබඩා (fortified warehouse) දෙකකින් ප්‍රධාන බලකොටුවට සම්බන්ධ කළහ. ලන්දේසීන් ද තම බලකොටුව ආරක්ෂා කර ගැනීම සඳහා පෘතුගීසි නගරය මැදින් ගැලු දිය පහර ඔවුන්ගේ දිය අගල ලෙසට පරිවර්තනය කළහ. ලන්දේසි බලකොටුව ඉදිකර ඇත්තේ කබොක් සහ ගල් මිශ්‍රණයකින් වන අතර තුවක්කු 100 ක් පමණ එහි තිබෙන්නට ඇත.
කොටුවට ප්‍රධාන පිවිසුම් 3 ක් තිබුණි, නැගෙනහිරට ‘ඩෙල්ෆ්ට්’ දොරටුව (Delft) ද, දකුණට ‘ගාල්ලේ’ දොරටුව (Galle) ද, වයඹ දෙසින් ‘ජල-දොරටුව’ (Water-gate)ද විය. ජල-දොරටුව ආරක්ෂක-ගබඩාවේ මධ්‍යයේ පිහිටා තිබූ අතර වරායට ප්‍රවේශය ලබා දුන්හ. මේ හැරුණු විට සුළු දොරටු දෙකක් ද විය. බටහිර ප්‍රාකාරයේ ‘වහල් දොරටුව’ (Slave-gate) වහලුන් නවාතැන් ගෙන සිටි වෙරළට පිවිසීමට ඉඩ සලසා දුන් අතර ගිනිකොන දෙසින් පිහිටි ‘රොටර්ඩෑම් දොරටුව’ (Rotterdam) දිය අගලෙන් කොටුව ඇතුලෙහි සෑදූ ඇළ මාර්ග දෙක සඳහා වූ දොරටුවකි. බලකොටුවේ සියලු ප්‍රධාන ලක්ෂණ 1660 දශකය අවසන් වන විට සම්පූර්ණ කරන ලදී.
මෙම බලකොටුව ලන්දේසීන්ගේ ඉහළම නිලධාරීන්ට හා හමුදාවට වෙන් කර වූහ. ආණ්ඩුකාරවරයා ඇතුළු විවිධ නිලධාරීන්ගේ නිවස්, විවිධ කාර්යාල, හමුදා බැරැක්ක සහ ආයුධ ගබඩා, පල්ලියක් සහ රෝහලක් ද ඇතුළත් විය. උතුරු-දකුණු අක්ෂයේ ධාවනය වන ප්‍රධාන වීදි දෙකකින් සමන්විත වූ අතර කුඩා හරස් වීදි කිහිපයක් ද සකස් කර ඇත. තවද ඉහත සඳහන් කළ පරිදි කුඩා ඇළ මාර්ග දෙකක් ද සාදන ලදී. මෙම වීදි රටාව කොටුවේ වර්තමාන වීදි රටාව වන අතර යෝර්ක් වීදිය (York Street) සහ ජනාදිපති මාවත (former Queen’s Street) ඉහත සඳහන් ප්‍රධාන වීදි දෙක වේ.
ලංකාවේ ලන්දේසි පාලනය කොළඹ, යාපනය සහ ගාල්ල යන කලාප තුනකට බෙදා තිබුනේය. මේ අනුව මෙම මධ්‍යස්ථාන තුනේ බලකොටු ඔවුන් විසින් සාදන ලද විශාලතම බලකොටු වන අතර අනෙක් සියලුම ලන්දේසි බලකොටු ප්‍රමාණයෙන් කුඩා වූ සහ මෙම ප්‍රධාන බලකොටු තුන යටතේ යටත් බලකොටු ලෙස ක්‍රියා කළේය.
කොළඹ බලකොටුව යාපනය බලකොටුවට වඩා විශාල ද ගාල්ලට වඩා කුඩා වූවද ආරක්ෂක ලක්ෂණ සලකා බැලීමේදී කොළඹ ලංකාවේ ලන්දේසි බලකොටුවල ශක්තිමත්ම බලකොටුව ලෙස ප්‍රකාශ කළ හැකිය.
“ඕඩ් ස්ටැඩ්” නමැති නේවාසික නගරය (Oude Stad)
දිය පහරට නැඟෙනහිර දෙසින් හා පෘතුගීසි නගර සීමාව තුල ‘ඔඩ් ස්ටැඩ්’ (Oude Stad) ලෙස හැඳින්වෙන ලන්දේසීන්ගේ නේවාසික නගරය ගොඩනඟන ලදී. මෙය අද දකින පිටකොටුව නම් වේ. 1656 දී පෘතුගීසි නගරය අල්ලා ගත් විගසම, නටබුන් වූ පෘතුගීසි ප්‍රාකාරයට සුළු වෙනස් කිරීම් මගින් ශක්තිමත් කරන ලද නමුත් 1660 වන විට ඔවුන් තම නගරය ආරක්ෂා කිරීම සඳහා නව ආරක්ෂක වළල්ලක් ඉදිකිරීමට තීරණය කළහ; 1670 දශකය වන විට නගරය උතුරු, නැගෙනහිර සහ දකුණින් ‘බැස්ටියන්’ හතකින් සමන්විත නව ප්‍රාකාරයකින් ආරක්ෂා කරන ලදහ. ඊසාන දෙසින් පිහිටි ‘බැස්ටියනය’ (Bastion of Victoria) අසල පිහිටා ඇති ‘මීගමුව දොරටුව’ (Negombo gate) නමින් එක් ප්‍රධාන දොරටුවක් තිබී ඇති අතර එය කැළණි ගඟට සහ අනෙකුත් ප්‍රදේශවලට මඟ පෑදීය.
කෙසේ වෙතත්, 17 වන ශතවර්ෂයේ අවසානය වන විට ‘කස්ටීල්’ නමැති ප්‍රධාන බලකොටුව පමණක් ප්‍රමාණවත් වන බව තීරණය කර ලන්දේසීන් 1690 ගණන් වලදී මෙම නගරය වටාවූ බලකොටු කොටස් දිරාපත්වීමට ඉඩ දී 1730 දශකයේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.
ප්‍රාකාරය ඉවත් කිරීමෙන් පසු, කලින් මීගමුව දොරටුව හරහා නගරයෙන් පිටත සිට ප්‍රධාන පිවිසුම වර්තමාන කෙලින් වීදිය (Main Street) සමඟ පෙලගැස්වීම සඳහා මාරු කරන ලද අතර එහි ‘කයිමන් දොරටුව’ (Kaymens gate) නමින් මුරපොලක් සකස් කරන ලදී.
නගරයේ බිම් සැලැස්ම සැලසුම් කර ඇත්තේ සෘජුකෝණාශ්‍රාකාර සහ හරස් වීදි රටාවෙනි. මෙය වර්තමාන පිටකොටුවේ එලෙසින්ම දැකිය හැකිය. මෙම නගරය යුරෝපීයයන්ගේ මිශ්‍ර ජාතිකත්වයක් ඇතුළත් VOC හි අනෙකුත් සියලුම නිලධාරීන් සඳහා වෙන් කර ඇත. නිව්ස් සියල්ලම පාහේ එක් මහලක් (ගාලු බලකොටුව වැනි) වූ අතර ඊට අමතරව නගරයට සුසාන භූමියක් ද, කඩමණ්ඩියක් ද, සෙමනේරියක් ද, ළමා අනාථ නිවාසයක් සහ රෝහලක් ද තිබුණි.
බ්‍රිතාන්‍යයන් යටතේ කොළඹ
1795 අග භාගයේදී යුරෝපයේ ඇති වූ එකඟතාවයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලංකාවේ ලන්දේසි ප්‍රදේශ අත්පත් කර ගැනීමට පැමිණ වූ ද ලන්දේසීන්ගේ විරෝධයට ලක් විය. ත්‍රිකුණාමලය කොටුව අල්ලා ගැනීමෙන් පසු ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සියල්ලම ඉවත් කර සොල්දාදුවන් කොළඹට සංක්‍රමණය විය. බ්‍රිතාන්‍ය හමුදාව කොළඹ කොටුව වැටලීමට පැමිණ නගරය යටත් වන්නැයි ප්‍රකාශ කිරීමෙන් ලන්දේසීන් 1796 පෙබරවාරි 16 වන දින සටනකින් තොරව නගරය යටත් විය. මේ අනුව කොළඹ ලන්දේසි බලකොටුව එහි ජීවන කාලය තුල කිසිදු සටනකට ලක්වී නොමැත.
බ්‍රිතාන්‍යයන් කොළඹ බලකොටුවට වැඩි වෙනස්කිරීම් නොමැතිව 1860 දශකය තෙක් භාවිතා කළ අතර නමුත් ප්‍රධාන වෙනස වූයේ ලන්දේසීන් මෙන් නොව කොටුව ප්‍රදේශය පුද්ගලික භාවිතය සඳහා විවෘත කර තිබීමයි.
1860 දශකයේ මුල් භාගයේදී බලකොටුව තුළ පවත්නා හමුදා බැරැක්ක සෞඛ්‍ය සම්පන්න නොවන තත්ත්වය හේතුවෙන් හමුදාව සඳහා නව බැරැක්ක ඉදිකිරීමට තීරණය කරන ලදී. මෙම සෞඛ්‍ය සම්පන්න නොවන තත්වයට එක් සාධකයක් ලෙස කොටුවේ ප්‍රාකාරය සැලකේ. තවද මෙම කාල පරිච්ඡේදය තුළ දියුණු කාලතුවක්කු හේතුවෙන් විශාල බලකොටු යල් පැන ගිය අතර එබැවින් ලොව පුරා බොහෝ නගර එවැනි විශාල බලකොටු ඉවත් කරමින් සිටියහ. නව හමුදා බැරැක්ක ඉදිකිරීමේ අවශ්‍යතාවයට සමගාමීව කොළඹේ ආරක්ෂක විධිවිධාන යල් පැනගිය හෙයින්, කොළඹ ලන්දේසි බලකොටුවේ නැගෙනහිර හා දකුණේ කොටස් කඩා දැමීමට තීරණය කරන ලදි. 1869 සහ 1871 අතර කාලය තුළ මෙම කොටස් සහ සම්පුර්ණ දිය අගල කඩා බිඳ දමා එචෙලොන් බැරැක්ක (Echelon barracks) (දැන් කඩා දමා ඇත) 1880 දශකයේ ඉදිකරන ලද්දකි.
කොළඹ බලකොටුවේ අවශේෂ
බලකොටුවේ බටහිර හා උතුරේ කොටස් නොනැසී පැවතුන නමුත් නගරය හා වරාය සංවර්ධනය වීමත් සමඟ වසර ගණනාවක් පුරා විසිරී ගොස් විනාශයට පත්වූ අතර පොදු සමාජයේ සාමූහික මතකයෙන් නැති වී ගියේය. අවුරුදු සීයකට වඩා කාලයක් තුල සමහර කොටස් පැවතී බව දැනන් හා ඒවා නිල වශයෙන් ආරක්ෂා වූ ද අනෙක් ඒවා එසේ නොවේ.
2015 සිට ලේඛකයා විසින් කොළඹ කොටුවේ ඉතිරිව ඇති කොටස් 8 ක් හඳුනා ගැනීමට සමත් වී ඇති අතර ඒවා අඛණ්ඩව සමීක්ෂණය කර විවිධ මාධ්‍යයන්හි මෙම විස්තර ශාස්ත්‍රීය හා මහජන ප්‍රේක්ෂකයින්ට ප්‍රකාශයට පත් කර ඇත. මේවායින් බොහොමයක් විනාශකාරී තත්වයක පවතින නමුත් නුදුරු අනාගතයේ දී සංරක්ෂණය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කරයි.
1. බැටන්බර්ග් ආරක්ෂ වලල්ලේ කොටස්, කොළඹ වරාය තුල (Remains of Battenberg battery, in the Colombo Port)
2. ආරක්ෂක-ගබඩාව, වර්තමාන සාමුද්‍රීය කෞතුකාගාරය (Old warehouse, now the Maritime Museum, left of Commissarait Street)
3. ඩන්බ්‍රියල් බැස්ටියන්, නාවික හමුදා මූලස්ථානය (Dan Briel bastion, in the Navy Head Quarters)
4. ඩන්බ්‍රියල් බැස්ටියනයට දකුණින් ඇති ප්‍රාකාර කොටස්, (Remains of the wall south of Dan Briel, in the Junior Police Offices Mess premises)
5. ඩන්බ්‍රියල් බැස්ටියනයට උතුරින් ඇති ප්‍රාකාර කොටස්, නාවික හමුදා මූලස්ථානය (Remains of the wall north of Dan Briel, in the Navy Head Quarters)
6. වහල් දොරටුව, නාවික හමුදා මූලස්ථානය (Postern Gate or the Slave port, in the Navy Head Quarters)
7. ඩෙල්ෆ්ට් දොරටුව, (The Delft Gate, in the Commercial Bank premises on Bristol Street)
8. උතුරු ප්‍රාකාරයේ කොටස් (Northern rampart, in the Colombo Port)
ටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්
ඉරේෂා වන්නිනායක
පුරාවිද්‍යා නිලධාරී, මහාවිහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.


ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප‍්‍රචලිත වූ සම්ප‍්‍රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන ලද්දේ බුුදුන් වහන්සේ වෙනුවෙන් අද පූජා කිරීම සඳහා වන අතර ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන එස්.යු. දැරණියගල මහතා පවසන්නේ “මෙම ටැම්පිට විහාර ඒවා නිර්මාණය කර ඇති අවදියට අයත් දේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්ෂා වී පවතින කුඩා කලාගාර වැනිය.” යනුවෙනි (විජයවර්ධන 2010:13).
මෙම නිර්මාණයන් කි‍්‍රස්තු වර්ෂ 17, 18 සියවස්වල ආරම්භ වූ බව ඒ සම කාලීන ලේඛන අනුව පැහැදිලි වේ (තිස්සකුමාර 1989:20). පූර්වෝක්ත කරුණු අනුව මහනුවර යුගය මෙම පිළිම ගෙවල් බිහි වූ කාල පරිච්ඡේදය ලෙස සිතිය හැකි ය (තිස්සකුමාර 1989:20). ඒ අනුව දැරණියගල මහතා පවසන පරිදි මෙම විහාරයන්හි පවතින්නේ ඒවා නිර්මාණය කළ අවදියට අයත් කලා නිර්මාණයන් නම් ඒවා අනිවාර්යෙන්ම මහනුවර යුගයට අයත් නිර්මාණයන් විය යුතු ය. මෙය පැහැදිලි කර ගැනීමේ දී මහනුවර යුගයේ සිතුවම් කලාව පිළිබඳව අධ්‍යයනය කළ යුතු ය.
මහනුවර රාජධානිය සමයෙහි දී ප‍්‍රචලිත වුණු බිතුසිතුවම් කලාව බෞද්ධ සිද්ධස්ථාන විශාල සංඛ්‍යාවක් ඇසුරු කොටගෙන පුළුල් ප‍්‍රදේශයක් තුළ හොඳින් පැතිරී ගිය එකක් බව පෙනෙයි (සෝමතිලක 2002:183). සම්ප‍්‍රදායේ බිතුසිතුවම් ශේෂ වී ඇති සිද්ධස්ථාන ගෘහනිර්මාණාත්මක ශිල්ප ක‍්‍රමය අනුව වර්ග තුනකට වෙන් කර ඇත. ඒ ලෙන් විහාර, සාමාන්‍ය විහාර හා ටැම්පිට විහාර (සෝමතිලක 2002:183) යනුවෙනි.
ටැම්පිට විහාර ගෘහනිර්මාණාත්මක ලක්ෂණ අතින් අනෙකුත් විහාරාමවලට වඩා විශේෂත්වයක් පෙනෙයි. සම්පූර්ණයෙන්ම දැව නිර්මාණයක් වන මෙහි ආධාරක වශයෙන් පමණක් ගල් කණු යොදා ගන ඇති බව පැහැදිලි වේ. ගල්කණු මත දැවමය බාල්ක එළා ඒ මත ලී තට්ටුවක් සකසා ඒ මත වරිච්චි බිත්ති සකසා පල හතරකින් යුතු වහලයක් ඉදිකර මෙම පිළිමගෙවල් නිර්මාණය කර ඇත. මෙම නිර්මාණය විසිතුරු කර ගැනීම සඳහා කැටයම් මූර්ති, සහ බිතුසිතුවම් යොදා ගන ඇති බව ශේෂ වී ඇති විහාර තුළින් පැහැදිලි වේ. බොහෝමයක් පිළිම ගෙවල් සඳහා ඇත්තේ එක දොරකි (විජයවර්ධන 2010:26). එහි ලී උළුවස්ස, දොර පළුව විචිත‍්‍ර කැටයමින් හා සිතුවම් වලින් අලංකාර කර ඇත.
පිළිමගෙයි ඇතුළු බිත්තිය ඔපකර චිත‍්‍ර ඇඳ ඇත. විහාරය වටේ ප‍්‍රදක්‍ෂිණා පථයකි. එය ලීයෙන් කළ ගරාදි වැටකින් අලංකාර වේ. බරාදය වටේ කැටයමින් අලංකාර වූ මුදුණේ පේකඩ සහිත ලී කණු දක්නට ලැබේ. වහලය රඳවා ඇත්තේ ඒ කණු මතය. එසේම පිට මාලයේ බිත්ති වල ද සිතුවම් ඇඳ ඇති අවස්ථා දක්නට ලැබේ (සෝමතිලක,2002:187). ටැම්පිට විහාරයන්හි සිතුවම් ඇඳීමේ දී තත්කාලීන යුගයේ පැවති චිත‍්‍ර කලාව උපයෝගී කරගන්නට ඇත. එය අනිකුත් යුගයන්හි පැවති සිතුවම් කලාවට වෙනස් අනන්‍යතාවක් පෙන්වන කලාවකි. එසේම වස්තුවිෂය තෝරා ගැනීම, රේඛාකරණය, වර්ණ භාවිතය, ශෛලිගත බව අනුව එකී යුගයට ආවේණික වූ ලක්ෂණ පිළිපිඹු කරයි (රත්නායක 2009:173). මෙම චිත‍්‍ර සම්ප‍්‍රදාය මධ්‍ය කඳුකරය, උතුරු මැද තැනිතලා ප‍්‍රදේශ, මුුහුදු බඩ ප‍්‍රදේශ දක්වා ව්‍යාප්ත විය. එසේම ඒ තුළින් ප‍්‍රාදේශීය ශෛලීන් කිහිපයක් ද බිහි වී ඇත.
මහනුවර යුගයේ දී අනෙකුත් යුගවල මෙන්ම විශාල ප‍්‍රමාණයේ විහාරස්ථාන ඉදි නොවුණි. ඉදිකරන ලද කුඩා විහාරස්ථානයන් හි චිත‍්‍ර සංරචනය කළේ සීමිත ඉඩකඩ වූව ද ඒවා එයටම ආවේණික වූ ක‍්‍රමවේදයක් මත ඉදිරිපත් කළහ. මෙම යුගයේ දී විශාල පනේල සිතුවම් වෙනුවට අඛණ්ඩ නිරූපන ක‍්‍රමය භාවිත විය. මෙහි දී අදාළ රූපවල පුනප්පුන නිර්දේශයක් සහිතව චරිත හා සිද්ධි ඇසුරින් කථාව ඉදිරියට ගමන් කරයි (රත්නායක 2009:290).


මහනුවර චිත‍්‍ර සම්ප‍්‍රදාය පිළිබඳව බොහෝමයක් අදහස් ඉදිරිපත් ව තිබේ. “එහි දී කඳුකරයේ සිතුවම් කලාව වූ කලී ගැමි ජිවිතය හා චිත්ත පරම්පරාව පිළිඹිබු කරන ජීවමය පින්තූරයෝය. එයින් ප‍්‍රධාන වශයෙන් දක්වනුයේ බෞද්ධ පරිසරයක් වූව ද එය අවශ්‍යයෙන්ම දේශීය ජන සමාජය හා එක්ව ගිය සිතුම් පැතුම් මාලාවකි. අඛණ්ඩ රචනයකි” යනුවෙන් ආචාර්ය එස්.ඒ. වික‍්‍රසිංහ මහතා ප‍්‍රකාශ කරයි (රත්නායක 2009:84). තවදුරටත් මෙය විස්තර කරන එතුමා “අපේ ගැමි සිතුවම්කරුවෝ ඔවුන්ගේ අදහස් වලටත් මතිමතාන්තරවලටත් පරිසරයටත් ගැලපෙන පරිදි ඔවුනටම සරිලන සිතුවම් කලාවක් නිර්මාණය කළා විනා අන්‍යයන්ගේ නිපැදුම් පිටපත් කිරීමට තැත් නොකළෝය” යනුවෙන් ද සඳහන් කරයි.
සිංහල සිතුවම් සම්ප‍්‍රදායේ පරිණාමය පිළිබඳව විග‍්‍රහයක යෙදෙන්නන් මහනුවර යුගයේ සිතුවම් සඳහා දකුණු ඉන්දීය ආභාෂය ලැබී ඇති බව සඳහන් කරයි. එයට හේතුව ලෙස දක්වන්නේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු හා ඔහුගේ සොහොයුරන් ද්‍රවිඩ ලේ ඇති පාලකයන් වීමයි (සේනානායක 2009:89). ඔහු තවදුරටත් බෞද්ධාගාමික පරිහානිය ඇති වූ ඒ සමයෙහි චිත‍්‍ර කලාව ද පරිහානිියට ගිය බවත් පශ්චත්කාලීන ශිල්පීන්ට පහසුවෙන් ප‍්‍රගුණ කළා හැකි වූ දකුණු ඉන්දීය චිත‍්‍ර සම්ප‍්‍රදාය මෙරට විහාර බිත්ති මත රජය වූ බවත් සඳහන් කරයි. නමුත් එම්.බී.එම්. සෙනෙවිරත්න මහතා, මහනුවර යුගයේ සිතුවම් කලාත්මක අතින් පහත් තත්ත්වයක නො පවතින බව කරුණු ඉදිරිපත් කරයි. එහි දී එතුමා මෙම නිර්මාණ තුළින් තත්කාලීන සමාජයේ හා සංස්කෘතියේ සිදු වූ වැදගත් වෙනස්වීම් සංකීර්ණ අයුරින් පිළිඹිබු කරන හෙයින් මෙය නුපුහුණු ජන කලාවක් වෙන බව පවසයි (රත්නායක 2009:93).
මේ අදහස් කෙසේ වූවත් 17, 18 සියවස්වහි ඉදිවුණු විහාරාරාම ආශිත‍්‍රව මේ සිතුවම් සම්ප‍්‍රදාය ජනපි‍්‍රයව පැවැති බව හා හමුවන සාධක අනුව පැහැදිලි වේ. සිතුවම් නිර්මාණය කිරීමේ දී ජූජනීය වූ සුවිශාල මන්දිර, ස්වාහාවික ගල්ලෙන් සකසා ගෙන ඉදිකර ගත් ලෙන් විහාර, සම කාලීන ගෘහ නිර්මාණාත්මක ක‍්‍රම උපකාරී කර ගත ඉදිකරගත් විහාර ගෙවල් යොදාගෙන ඇත (රත්නායක 2009:272).
සිතුවම් නිර්මාණය කිරීමට පෙර පළමුව ඒ සඳහා සිතුවම් තලය සකසා ගෙන ඇත. විශේෂයෙන් ගත හොත් ගල්ලෙන් ආශි‍්‍රතව සිතුවම් නිර්මාණය කිරීමේ දීත්, කටුමැටි හා නිර්මාණය කරගත් වරිච්චි බිත්තියක සිතුවම් නිර්මාණය කිරීමේ දීත් ඒ සඳහා සුදුසු වන පරිදි බිත්ති තලය සකසා ඇත. සිතුවම් අඳින කල සුරක්ෂිත වීම පිණිසත්, සිතුවම් කල් පැවැත්ම පිණිසත් සිතුවම් තලය සකසා ගැනීම වැදගත් වේ.
විශේෂයෙන් ගත හොත් ටැම්පිට විහාර ඉදිකිරීමේ දී ගල්කණු මත තබන දැව තට්ටුව පාදම ලෙස භාවිත කරමින් ලම්භාකාර ලෙසට සිටුවන ලද ශක්තිමත් ලී කණු රැසක තිරස් අතට ලී බැඳ ගැනීමෙන් දැව සැකිල්ල සාදා ගනී. ඉන් පසුව පදමට හනාගත් මැටි මිශ‍්‍රණයකින් දැව සැකිල්ල පුරවා බිත්ති සකසා ගනී (සෝමතිලක 2002:198). නමුත් මෙය ඉතා රළුබවකින් යුක්ත ය. ඒ මත සිතුවම් නිර්මාණය කිරීම අපහසු බැවින් සුදුසු වන පරිදි පසුබිම සකසා ගනී. එය සිදුකරගත් ආකාර කිහිපයක් පිළිබඳව තොරතුරු හමු වේ.
කැඳ වතුර සමඟ පදමට හනාගත් වැලි හා මැටි මිශ‍්‍රණයකින් රළු බිත්තිය හොඳින් කපරාදු කර ගනී. දෙවනුව ඒ මත පොල් ගසෙන් ලැබෙන නොමේරූ කුරුම්බා ඇට්ටි, අරළු (Terminalia chebula) කහට (Ageva vera) පොතු හා දිවුල් (Feronia limona) ලාටු, යන ද්‍රව්‍ය සමව ගෙන වංගෙඩික ලා කොටා වතුර බඳුනක දමා සතියක් පමණ පල් කර ඒ වතුර කිිිරිමැටි හා වැලි මිශ‍්‍රකර හනා බිත්තිය කපරාදු කර ගනී. එවිට දළ පෘෂ්ඨය ඉවත් වේ (රත්නායක 2009:273, සෝමතිලක 2002:199). ඉන්පසුව බිත්තිය හොඳින් වේලෙන්නට හැර ‘කොවාමකුල්’ නම් කිරිමැටි විශේෂය දිවුල් ලාටු සමඟ මිශ‍්‍ර කර බිත්තියේ ආලේප කරන ලදී. ඉන්පසු සිතුවම් ඇඳිමට සුදුසු වන පරිදි ඔපයක් ගැනීම සඳහා හක්ගෙඩි හෝ පුස් ඇට වැනි දෙයකින් ඔප දමනු ලැබේ (සෝමතිලක 2002:199).
බිත්ති පෘෂ්ඨය සකසාගත් ආකාරය පිළිබඳව තමාට ලැබුණු විස්තරයක් ආනන්ද කුමාරස්වාමි මහතා උපුටා දක්වයි. එනම්, “ලපටි කුරුම්බා ලෙලිවල කෙඳි, අරළු, නුග, කහට, බෝ හා ගොඩපර වෘක්ෂවල පොතු සමව ගෙන කුඩා කැබලි කපා ලී වංගෙඩියක දමා කෙටිය යුතු ය. එම මිශ‍්‍රණයෙන් රාත්තල් අරළු ගෙඩි 100ක් පමණ වන සේ වතුර එකතු කර එම මිශ‍්‍රණය පෙරා බදාම තැනීමේ දී ජලය වෙනුවට භාවිත කිරීම” (කුමාරස්වාමි 1962:118).
මේ ආකාරයට සකසා ගත් බිත්ති පෘෂ්ඨයේ සිතුවම් ඇඳීමේ දී ද අනෙකුත් යුගවලට සාපේක්ෂව යම් යම් විශේෂතා අනුගමනය කර තිබේ. අනුරාධපුර, පොළොන්නරු යුගවල දක්නට ලැබෙන පුළුල් පනේල චිත‍්‍ර ක‍්‍රමය මෙහි දී ‘පටු චිත‍්‍ර’ ක‍්‍රමයකට පරිවර්තනය වී ඇති වී තිබේ (රත්නායක 2009:274). බිත්ති පෘෂ්ඨයෙහි පැවති ඉඩකඩ දිගැති පුස්කොළ පොතක පත් ඉරු මෙන් ද තිරස් ආකාර ඉරි සහිත අභ්‍යාස පොත් පිටත ඉරි රටාවන් මෙන් ද හරස් අතට බෙදා ගත් තිරයන් කිහිපයක සිතුවම් ඇඳීම සිදුකර තිබේ (සෝමතිලක 2002:207). නමුත් යොදා ගත් පනේලයන් හි දිග, පළල, ආදිය සම ස්වරූපී බවක් නොගත් අතර එය ස්ථානීයව වෙනස් වූ බවක් පෙනේ. විහාර බිත්තියේ පැවති ඉඩකඩ ශිල්පීන්ගේ පෞද්ගලික රුචිය හා විහාරාධිපති හා දායක භාරකාරාදීන් ගේ අදහස් ඒ සඳහා බලපාන්නට ඇත.
මෙම පනේලවල සිතුවම් ඉදිරිපත් කිරීමේ දී කථා ප‍්‍රවෘත්ති බිත්තියේ වම්පස කෙළවරෙහි සිට දකුණටත් එහි අවසානයේ දී නතර කළ තැන සිට යළි පහළ පේළියේ දී නැවත වමේ සිට දකුණටත් ආදී වශයෙන් අඛණ්ඩව ගලා යන පරිද්දෙන් ඉදිරිපත් කර ඇති බව පෙනේ. නමුත් ඇතැම් තැනක දකුණේ සිට වමටත්, වම සිට දකුණට ගොස් කෙළවර වූ තැන සිට නැවත දකුණේ සිට වමටත්, කථාව ගලාගිය අවස්ථා ඇත.
පනේල වෙන්කිරීමේ දී පනේල දෙකක් අතර කුඩා හිස් තීරයන් ද ඉතිරි කරමින් එය සිදුකර ඇත. මෙය අදාල කථාවස්තුව නම් කිරීම සඳහා භාවිත කර ඇත. මෙම පනේලවල සිතුවම් නිර්මාණය කර ඇත්තේ ඉහත සඳහන් කළ පරිදි අඛණ්ඩ කථන ක‍්‍රමය උපයෝගී කරගෙනය. මෙහි දී සිදුවීම් රාශියකින් යුතු කථා පුවතක් වූව ද එක පනේලයක් උපකාරී කරගත ඉදිරිපත් කිිරීමට ශිල්පියා සමත්ව තිබේ. නමුත් ඒ සංක්‍ෂිප්ත කිරීම හරහා කථාව අවබෝධ කරගන්නට අසාධාරණයක් නොවේ.
උදා: මැදවල විහාරයේ වෙස්සන්තර ජාතකය හා උරග ජාතකය කුඩා පනේල දෙකකට නිමා කර තිබීම. (සෝමතිලක 2002:212)
කථාවක් ඉදිරිපත් කිරීමේ දී අවස්ථා වෙන් කර දැක්වීම සඳහා ගසක්, ගෘහයක්, මල් මෝස්තරයක් යොදාගෙන ඇත.
උදා: මැදවල ටැම්පිට විහාරයේ උරග ජාතකයේ පළමු වැනි දෙවැනි සිදුවීම් වෙන්කර ඇත්තේ වෘක්ෂයක රූප සටහනකි.
මහනුුවර සම්ප‍්‍රදායේ විශේෂ ලක්ෂණයක් වන මෙම අඛණ්ඩ කථන ශෛලිය යොදාගන්නට ඇතැයි සිතෙන හේතු වූ කාරණා කිහිපයක් ඉදිරිපත්ව තිබේ.
- විහාර ගෙවල් කුඩා වීම නිසා සීමිත ඉඩකඩකින් වැඩි ප‍්‍රයෝජනයක් ගැනීම
- බුද්ධිගෝචර ක‍්‍රමයකට වඩා දෘශ්‍යගෝචර ක‍්‍රමයකින් සිද්ධියෙන් සිද්ධිය විස්තර කිරීමේ කථාන්තර ක‍්‍රමයක කාලීන අවශ්‍යතාව
- චිත‍්‍රය පොදු ජනතාව ඇමතීමේ සුගම මාධ්‍යයක් බවට පත්වීම
- බුද්ධිචරිතය හා ජාතක කථා විස්තරාත්මකව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව (රත්නායක 2009:279)
මේ සම්ප‍්‍රදාය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන සරත් අමුණුගම මහතා “මෙම අඛණ්ඩ කථන සම්ප‍්‍රදාය අශෝභන හා නොදියුණු තත්ත්වයේ එකකි” යනුවෙන් පවසයි (සෝමතිලක 2002:215).
මේ ආකාරයට නිර්මාණය කරගත් චිත‍්‍ර සම්ප‍්‍රදාය තුළ වස්තු විෂය වූයේ මොනවාද යන්න පිළිබඳව විමසීමේ දී ජාතක කථා, සුවිසි විවරණය, සොළොස්මස්ථාන හා ලාංකීකයන්ට වෙසෙසින් වැදගත් විජයාගමනය, බුද්ධාගමනය ආදී සිදුවීම් වලට ප‍්‍රමුඛත්වය දී ඇති බව පෙනේ (සෝමතිලක 2002:305). කුඩා ඉඩකඩක සිත්තම් ඇඳීමට සිදුවීම නිසා බොහෝ ටැම්පිට විහාරවල ජාතක කථා වැනි විස්තරාත්මක මාතෘකා යොදා ගත ඇත්තේ කලාතුරකිනි. බහුතරයක් විහාරවල විස්තරාත්මක නොවන පහසුවෙන් නිර්මාණය කළ හැකි බෞද්ධ තේමා යොදා ගෙන තිබේ. සමහර විහාරවල ප‍්‍රතිමා ගෘහයේ ඇතුළත පමණක් සිත්තම් සඳහා යොදා ගෙන ඇත. නමුත් සමහර විහාරවල පිට මාලය විහාරවල පිට මාලය පසු කාලීන හුණු පිරියම් කිරීම නිසා සිතුවම් මැකී ගොසිනි.
උදා : බුදුමුත්තාව ටැම්පිට විහාරය (විජයවර්ධන 2010:28)
ටැම්පිට විහාරයේ ගර්භගෘහයට පිවිසෙන් උළුවස්ස බෙහෝ විට අලංකාර ලියවැල්වලින් සමන්විතය. සමහරක් අවස්ථාවල මකර තොරණකින් ද අලංකාර කර තිබේ. දෙ පස මුර සෙබළුන් දෙදෙනෙකි (දොරටු පාල රූප). දොර පියන ඉතාමත් අලංකාර සිතුවමකින් යුක්ත ය. ගර්භගෘහයෙහි ප‍්‍රධාන දොරටුවට මුහුණ ලා පසුපස බිත්ති සීමාවෙහි මූර්තිමත් කරන ලද හිඳි පිළිම වහන්සේ (මධ්‍යම ප‍්‍රමාණයේ) ටැම්පිට පිළිමගෙයි පූජනීයම වස්තුවයි (ගුණවර්ධන 2009:101). බුද්ධ ප‍්‍රතිමාවට පසුපස බිත්තියේ බුදුන්වහන්සේට වන්දනාමාන කිරීමට පැමිණි දිව්‍ය සමූහයා චිත‍්‍රණය කර ඇත. ඇතැම් අවස්ථාවල සැරියුත් මුගලන් අගසව් දෙනම ද නිර්මාණය කර තිබේ. සියල්ල පොදුවේ ගත් කළ චිත‍්‍ර සටහන් කළ අන්තර්ගතව පවත්නා වස්තු විෂයන් පිළිබඳව විමසීමේ දී ඒ තුළ අන්තර්ගත තේමාවන් පහත පරිදි කොටස් කිහිපයටක වෙන් කර තිබේ.
- ජාතක කථා, දසපාරමිතා හා සුවිසි විවරණය
- බුදුන්වහන්සේ ගේ ජීවන චරිතයෙහි වැදගත් අවස්ථා ලෙසට සැලකුණු මාර පරාජය, සත්සතිය, නාලාගිරි දමනය ආදිය
- ලක්දිව බුුදුසමයේ ඉතිහාසය හා සම්බන්ධ සොළොස්මස්ථාන, අටමස්ථානය වැනි ස්ථාන සහ රාජකීය හා ප‍්‍රභූ පැලැන්තියේ දායකයින්, විහාර අනුග‍්‍රහකයින් ඒ සුප‍්‍රකට තෙරවරුන් මෙන්ම උපුල්වන්, සමන්, නාථ විෂ්ණු වැනි දෙවිවරු
- නවග‍්‍රහමණ්ඩලය, රාශි චක‍්‍රය, නැකැත් විසිහත අපාය
- අලංකාරක මල්, ලියවැල් රටා හා වෙනත් සැරසිලි (සෝමතිලක 2002:300)
මේ ආකාරයට සිතුවම් නිර්මාණය කළ පසු ඒ බිත්තිය දහම් පොතක් වැනිය. ඒ නරඹන කාට වූව ද ගැඹුරු ඥානයක් නොමැති වූව ද ඒවා තේරුම් ගැනීමේ හැකියාව තිබේ. ජාතක කථා ඉදිරිපත් කිරීමේ දී අරමුණ වන්නේ පාරම්පරික ලෙස පැවතෙන සදාචාරාත්මක ප‍්‍රතිපත්තීන් මිනිසුන් තුළ හොඳින් පුරුදුපුහුුණු කර ලීමයි (සෝමතිලක 2002:315). මහනුවර සම්ප‍්‍රදායේ යොදාගත් ජාතක කථා අතර වෙස්සන්තර, චුල්ලධම්මපාල, ඛදිරංගාර, දේවධම්ම, දහම් සොඬ ආදී ජාතක කථා බහුලව යොදා ගෙන තිබේ. වියන්තල අලංකරණයේ දී ලෝක විෂයය පිළිබඳව හෝ දිව්‍යමය දේ හෝ යොදාගනී. නමුත් ටැම්පිට විහාර බොහෝමයක්ම යොදාගත ඇත්තේ සුවිසි විවරණය, මාර පරාජය හා නෙළුම් මල් මෝස්තර රටාවයි. වියන්තල අලංකරණය සඳහා යොදාගත් නෙළුම් මල් රටාවන් ද විවිධත්වයෙන් යුක්ත වූ අතර සැරසිලි කලාවක් ලෙසට නෙළුම් මල් යෙදීම මෙකල විශේෂ ලක්ෂණයක් වූ බව ද පෙනේ. වියන්තලයෙහි ඉඩකඩ ඇති තාක් පිරවීම සඳහා නෙළුම් මල භාවිත කෙරුණු අතර ඒවායෙහි වාටිය සහිත කොටස් අලංකාර කිරීම සඳහා පලාපෙති හෝ වෙනත් ජ්‍යාමිතික රූ රටාවක් යොදාගන්නා ලදී (සෝමතිලක 2002:315).
සුවිසි විවරණය දැක්වීමේ දී බුදුන්වහන්සේ ආත්මභාව 24 දී ඒ ඒ කාලවල සිටි බුදුන් වහන්සේලාගෙන් විවරණය ලැබූ බවට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කථා පුවත් ඉදිරිපත් කිරීම සිදුකර තිබේ. එකම ආකාරයේ බුදුරූප 24ක් ඇඳ ඒ අසල වැඳගෙන සිටින බෝසතුන් දක්වා ඇත. එහි විස්තරය වාක්‍යයකින් සටහන් කර ඇත (විජයවර්ධන 2010:31).
ඉහත සඳහන් වූ වස්තුවිෂයක් ඉදිරිපත් කිරීමේ දී මෙම සම්ප‍්‍රදාය තුළ විශේෂ ලක්ෂණ කිහිපයක් ද පිළිඹිබු කරයි. ඒවා, මානව රූප, සත්ව රූප, උද්භිද රූප සටහන්, ගංගා හා වෙනත් වාරිමාර්ග, ගෘහනිර්මාණාත්මක රූ රටා හා අලංකාරික රූ රටා මෝස්තර නිර්මාණ ඇසුරින් පැහැදිලි කරගත හැකිය.
මානව රූප නිරූපණය : මහනුවර සම්ප‍්‍රදායේ සිතුවම් තුළ අනෙකුත් රූප සටහන්වලට වඩා මානව රූප බහුල ලෙස ඇඳ දක්වා ඇත. ඒ නිර්මිත මානව රූප ප‍්‍රභේද කිහිපයකි.
-
- බුද්ධරූප – හිඳි රූප, හිටි රූප, සයන රූප
- බෝධිසත්ව රූප- දිව්‍යස්වරූපි, භික්ෂුස්වරූපි, මානව ස්වරූපි
- රහත් රූප – අග‍්‍රශ‍්‍රාවක, සෙසු රහත් රූප
- අවශේෂ භික්ෂු රූප
- තාපස රූප
- රජ රූප
- මැති ඇමති රූප
- විවිධ බ‍්‍රාහ්මණරූප
- විවිධ තරාතිරමේ පිරිමි රූප – ගොවියෝ, විවිධ සේවකයෝ, වාදකයෝ, හෝවායෝ, සිඟන්නෝ
- කාන්තා රූප – රජ බිසෝවරු, ප‍්‍රභූ කාන්තාවෝ, ගෙවිලියෝ, සේවිකාවෝ
මෙම මානව රූපවල ළමා, තරුණ, මහලු, මැදි වයස් නිරූපනය කර ඇත. බුද්ධරාජ දේවරාජ හැර අනෙකුත් මානවරූප ඉදිරිපත් කිරීමේ දී ප‍්‍රධාන ක‍්‍රම තුනකට අනුකූලව දක්වා ඇත.
-
- සම්පූර්ණ මුහුණ දැක්වෙන සේ එහි ඉදිරි පෙනුම සෘජු දර්ශිි රිතියෙන් ගෙන හැර දැක්වීම
- සම්පූර්ණ මුහුණේ හතරෙන් තුන් කොටසක් පෙනෙන පරිදි ඉතිරි අර්ධය වැසී තිබෙන ආකාරයට චිත‍්‍රණය කර දැක්වීම (අර්ධ සෘජු දර්ශි කෝණය)
- පාර්ශ්ව දර්ශි රිතියට අනුව මුහුණේ පැති පෙනුම පමණක් දැක්වීම (සෝමතිලක 2002:320)
නමුත් බුද්ධරූප හා දේවරාජ රූපවල මුහුණ නිරූපණයේ දී වටකුරු බවක් දක්වා තිබේ. නාසය ප‍්‍රමාණයට වඩා තරමක් විශාලව ඇඳ තිබේ. ඇස් කන් වැනි දෑ ද පරිමානුකූල ලක්ෂණ වලින් මදක් හීනය. එසේම කර්ණභරණ කන්වලටත් වඩා විශාලය. මානව රූප බොහෝ විට පාර්ශය ගතව දක්වා ඇති විටක පවා ඇස් මුළුමනින්ම සෘජු දර්ශී හෝ පාර්ශව දර්ශි යන කවර රීතියකට අනුව මුහුණ නිරූපණය කර ඇතත් පාද යුගල සෑම විටම පාර්ශව දර්ශී රීතියම අනුගමනය කර ඇත. මේ හරහා මානව රූපවල තාත්වික බව වෙනුවට අස්වාභාවිකත්වයක් එක් වී ඇත.
මානව රූපවල කොණ්ඩය හිස පිටු පසින් ගැට ගසා ඇති ආකාරයකට හෝ පිට දිගට වැටී තිබෙන ජලාශයක් ගනී. මෙය ගැහැණු පිරිමි දෙ පාර්ශ්වයටම ඇඳ තිබේ. ඉහත කී පරිදි අග පසඟ ඉදිරිපත් කිරිමේ පරිමානුකූල නොවන බව දැක්වෙන තවත් අවස්ථාවක් ලෙස ශරීරයේ ප‍්‍රමාණයට නොගැලපෙන දිගු අත් හා කෙටි පාද වලින් යුක්තවීම ගත හැකි ය. මේ පිළිබඳව අදහස් දක්වන සිරි ගුණසිංහ මහතා, “අග පසඟවල වටකුරුවක් නැති නිසා මේ රූපවල ද්විමාතික බවත්, ඝන බවත්, නැත. මේ නිසා මේ රූපවලින් හැගෙන්නේ තාත්වික බවක් නොව චිත‍්‍රයට පමණක් යෝග්‍ය රටාක් පමණි” (රත්නායක, 2009:225).
ටැම්පිට විහාර සෑම එකකම පාහේ දැක්වෙන විශේෂ මානව රූප කිීපයකි. ඒ, රජ රූපයක්, භික්ෂු රූපයක් හා ප‍්‍රභූවරයකුගේ රුවක් වශයෙනි. මෙම රාජකීය රූපය කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ යැයි සැලකේ. රාජානුග‍්‍රහය ලද සෑම විහාරයකම පාහේ මෙම සිතුවම දක්නට ලැබේ. මෙය සියලු රාජකීය ඇඳුම්පැළඳුම් වලින් සැරසුණු විලාශයකින්ම ඉදිරිපත් කර ඇත. මහනුවර සමයෙහි මෙරට පිරිහී ගොස් තිබූ බුද්ධාගම නැවත පිටුදැකීමෙහි ලා දායකත්වය ලබාදුන්නේ වැලිිවිට ශී‍්‍ර සරණංකර සංඝරාජ හිමියන්ය. ටැම්පිට විහාර බොහා්මයක දක්නට ලැබෙන භික්ෂු රූපය සරණංකර හිමියන්ගේ යැයි සැලකේ. මීට අමතරව විහාරස්ථානය ඉදිකිරීමේ දී හා නඩත්තු කටයුතු සිදුකිරීමේ දී දායකත්වය ලබාදුන් ප‍්‍රභූවරයන්ට උපහාර පිණිස ඔහුගේ රුව ද සිත්තම් කර ඇති බව දක්නට ඇත.
මානව රූප වලට අමතරව සිතුවම් කළ සත්ව රූප ද දක්නා ලැබේ. ඒවා ස්වාභාවික ආකාර සතුන්, කල්පිත සතුන් වශයෙන් කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකි ය. අලිඇතුන්, අශ්වයින්, ගවයින්, හාවුන් වැනි සතුන් ද ගිරා හා කවුඩු වැනි පක්ෂීන් ද, නාගයින් වැනි උරගයින් ද මේ චිත‍්‍ර සම්ප‍්‍රදායෙහි දී නිතර සිතුවමට නඟා තිබේ. සතුන් නිර්මාණය කිරීමේ දී සතුන් සියලු දෙනාම පාර්ශ්වදර්ශී රීතියකින් ඇඳ දක්වා ඇති අතර ඉදිරියට හෝ පසුපසට හැරුණු විලාසයක් දක්වා ඇත්තේ කලාතුරකිනි. සත්ව රූප ඇඳීමේ දී තාත්වික ආකාරයෙන්ම නිරූපනය කර තිබේ.
ඊට අමතරව කල්පිත සතුන් ද සිතුවම් කරණයේ දී භාවිත කරයි. හංස පූට්ටුව, භේරුණ්ඩ පක්ෂියා, වෘෂභ කුංඤ්ජරය එවැනි කල්පිත රූ අතර කැපී පෙනෙයි. වෘෂභ කුංඤ්ජරය ඇතා හා වෘෂභයා යන සතුන් දෙ දෙනා එක් සතෙකු සේ පෙනෙන ලෙසට බද්ධ කරමින් නිර්මාණය කර ඇත. මෙහි ඇතාගේ ඇස වෘෂභයාගේ ඇස ලෙසත්, වෘෂභයාගේ අං යුවල සඳහාත් ඇතාගේ දෙ තොල වෘෂභයාගේ කණ ලෙසත්, සොඬය වෘෂභයාගේ මොල්ලිය සඳහාත් යොදා ගෙන තිබේ (සෝමතිලක 2002:334). ටැම්පිට විහාරස්ථානයේ ඇතුළුවන දොරටුවේ ඉහළ මකර තොරණකින් අලංකාර කර තිබීම ද දැක ගත හැකි ය. සමහර අවස්ථාවල බුදුපිළිමයට ඉහළින් යොදා තිබේ. විහාරස්ථානයන්හි පවත්නා ඉඩකඩ හා විශාලත්වය අනුව මකර තොරණ ද පරිමාණයෙන් වෙනස්කම් දක්වයි.
පනේලයක කථා වස්තුවක් චිත‍්‍රණය කිරීමේ දී සිදුවීම් එකිනෙකින් වෙන් කර දැැක්වීම සඳහා උද්භිද රූ සටහන යොදා ගෙන තිබේ. මෙම උද්භිද රූ සටහන් ස්වාභාවික ආකාර හා කල්පිත ඒවා වශයෙන් දෙ වර්ගයක් හඳුනා ගත හැකිය. ඒවායින් ස්වාභාවික වෘක්ෂ රූ සටහන් ලෙස බෝ, නුග, පොල්, පුවක්, අඹ, අන්නාසි, උක් වැනි විශාල ගස් හා පලතුරු ගස් යොදාගනී. කල්පිත වෘක්ෂ රූප ලෙස නාරිලතා, පළොල්, ඉඹුල්, කප්රුක වැනි සටහන් යොදා ගනී. වෘක්ෂ රූප අතර බෝධිවක්‍ෂය නිරූපණය කර තිබෙන ආකාරය විශේෂය. බෝධි වෘක්ෂය නිරූපණයේ දී පංච මහා ශාඛාවක් සහිතව හෝ සප්ත මහා ශාඛාවක් සහිතව හෝ ඒවා ඇද දැක්වීමෙන් පසුව තත් ශාඛාවන් සියල්ලම එකට එකතු කර බෝ පත‍්‍රයක අනුරුවකට සමාන වන පරිද්දෙන් යෙදූ බාහිර රේඛාවක් මගින් එහි අතු පතර සහිත ඉහළ කොටස ඇඳ දක්වා තිබේ. මේ කොටස තුළ බෝපත් හා ඒවායේ නැටි පවා ඉතා සියුම් ආකාරයෙන් දැක්වීමට ශිල්පීහු උත්සුක වී තිබේ. මැදවල විහාරයේ සත්සතිය නිරූපිත චිත‍්‍රාවලියේ පළමු සතියට අදාල බෝ වෘක්ෂය.
මහනුවර යුගයේ බිතු සිතුවම් නිරූපිත බෝ වෘක්ෂ පිළිබඳව අදහස් දක්වන සිරි ගුණසිංහ මහතා, “නුවර චිත‍්‍ර සම්ප‍්‍රදායේ බෝගස් ස්වාභාවික බෝ ගස්වලට සමාන කල නොහැකි ය. පෙතැලි සුදු කඳ බිඳක්වත් ඇඳකුද වී නැත. කඳේ කිසිම තැනක තුවාලයක් ද නැත. පොළොවේ සිට ක‍්‍රමයෙන් ළංවන සෘජු රේඛා දෙකකින් මැදිවන පටිය බෝ ගසේ කඳයි. අර්ධ තත්ත්වයෙන් පිට එකම කොළයවත් නොපෙනේ. අවසානයේ දී මේ රූපය ගසකට වඩා සේසතකට සමානවන්නේ යැයි කිව හැකිය” (සෝමතිලක 2002:339).
මානව රූප, සත්ව රූප හා වෙනත් රූ සටහන් වලින් අලංකාර කරන ලද පනේලයක පවත්නා අසම්පූර්ණ බව පිරවීමට අලංකාරික රූ රටා වලින් සැරසිලි කිරීම කර තිබේ. ඒ නිසා මේ යුගය තුළ අලංකාරික රූ රටාවන් බහුලව යොදා ගෙන තිබේ. මේ ලක්ෂණය මේ යුගය තුළ විශේෂ ලක්ෂණයක් ලෙස සැලකේ. අලංකාරික රූ රට අතර විවිධ මල් වර්ග පලාපෙති, ජ්‍යාමිතික සටහන්, ලියවැල් ප‍්‍රධාන තැනක් ගනී. අලංකාරික රූ සටහන් අතර මල් රටාවලට ප‍්‍රධාන තැනක් හිමිව තිබූ අතර මල්වර්ගවල සංඛ්‍යාව ද බෙහෙවින් විශාල ය. ඒවා නම් වශයෙන් දැක්වීම ද අපහසුය. නමුත් වඩාත් සුලභ ලෙස යොදා ගත් මල් අතරට, නෙළුම්, කඩුපුල්, කතිරී (කතුරු) සපු, සිහ, වැටකේ, පිච්ච මල් රටාවන් ගත හැකිය.
සැරසිලි කලාව තුළ නෙළුම් මලට ලැබී ඇත්තේ විශේෂ ස්ථානයකි. වළගම්බා රජු දඹුලු විහාර කර්මාන්තය කරවා ඉරහඳ තරු පවතින තෙක් පැවැත්මේ අදහසින් එහි සිවිලිමේ දහසක් නෙළුම් ඇන්ද වූ බව වංශකථාවේ සඳහන්ය (ප‍්‍රනාන්දු 1963:17). බෙහෙවින්ම වෘතය පදනම් කරගත නිමැවී ඇත ද ඇතැම් විට සමචතුරස‍්‍රාකාර හෝ ආයත චතුරස‍්‍රකාර හැඩතලයක් යොදා ගෙන ඇති බව ද පෙනේ (සෝමතිලක 2002:356). විවිධාකාරයේ නෙළුම් මල් රටා ඇති අතර ප‍්‍රධාන වශයෙන් පංචවිධිකාරයකට බෙදා ඇත. ඒ 1. වටකුරු පෙති, 2. උල්වූ පෙති, 3. නයිපෙණ පෙති, 4. සූරියකාන්ත මල් පෙති හා 5. මිශ‍්‍ර පෙති වශයෙනි.
වියන්තල අලංකරණයෙහි දී හා බාල්ක අලංකාරණයේ දී මෙන්ම හිස් අවකාශ පිරවීමේ දී නෙළුම් මල් යොදා තිබේ. නෙළුම් මල් ඇඳීමේ දී වෘත්තය කොටස් කිහිපයකට බෙදා ඇති අතර එහි දී ශිල්පියාගේ ජ්‍යාමිති විද්‍යාව පිළිබඳව දැක් වූ කෘතහස්ත කුසලතාව පුදුම සහගතය (ප‍්‍රනාන්දු 1963:98). නෙළුම් මල් වර්ණ පූර්ණයෙහි ලා යොදාගත් ක‍්‍රමයෙත් විශේෂත්වයක් පෙන්නුම් කරයි. කහ, කළු, රතු වර්ණ බහුල ලෙස යොදා ගත හැකි අතර සෑම මලකම පාහේ පෙති වර්ණ කර ඇත්තේ එකම පැහැයෙනි. බාහිර රේඛා නම් හෝ රතු පැහැයෙන් නැවත ඇඳ දක්වන ලදී (ප‍්‍රනාන්දු, 1963:18). සාම්ප‍්‍රදායික සැරසිලි කලාව තුළ මොස්තර රටා, අතර ඉරි, වක‍්‍ර වෘත ති‍්‍රකෝණ, කතිරය, බිංදුව, ගල්බිංදුව, පනාව, ලණුව, දියරැල්ල, ගිනිදැල්ල ආදිය ද දක්නට ලැබේ. එසේම විහාර කර්මාන්තවල බහුලව යොදාගන්නා දිව්‍යරූප (ඉරහඳ) උළුවහු දෙපස හා මකර තොරණ දෙ පස දක්නට ලැබේ (ප‍්‍රනාන්දු 1963:22).
මේ ආකාරයට වස්තු විෂයන් බිත්ති මත සටහන් කළ අතර ඒවා වර්ණ ගැන්වීම මීළඟ විශේෂ කාර්යය ලෙස ශිල්පීන් සැලකීය. චිත‍්‍ර ශිල්පීන් වර්ණ සාදාගත් ආකාරය, භාවිත වර්ණ පිළිබඳ ව මැදවල විහාර සන්නස, දඹුලු පදවි සන්නස, සායම් සාදන පිළිවෙල නම් පුස්කොළ පොත ආශ‍්‍රයෙන් හඳුනා ගත හැකි ය. රතු, කහ, සුදු, කළු, කොළ සහ නිල් යන මූලික වර්ණ පංදකය මෙකල භාවිත කොට ඇති ප‍්‍රධාන වර්ණකයන්ය. නිල් පැහැය හා කොළ පැහැය ඉතා අඩු මට්ටමින් යොදා ගෙන ඇත. යොදාගත් වර්ණ සාදාගත ඇත්තේ ස්වභාවික පරිසරයේ ශාඛා කොටස් උපකාරී කරගෙනය.
රතු පැහැය සඳහා සාදිලිංගම් හෙවත් රත් හිරියල් භාවිත කර ඇත. මැදවල විහාරසන්නසේත් වර්ණයේ වර්ණාලේප කටයුතු සඳහා සාදිලිගංම් යොදාගත් බව සඳහන් වේ (සෝමතිලක 2002:229). ‘සායම් සාදන පිළිවෙල‘ නම් ග‍්‍රන්ථයේ රතු පැහැය ලබාගත් ආකාරය ක‍්‍රම දෙකකින් විස්තර කර ඇත. ඉන් එක ක‍්‍රමයක් දක්වන්නේ නම් “වරකා මුල සිහින්ව කපා වතුර සොළසක් වත්කර දවසක් තබා හයට කකාරා ඉන් දෙ ගුණයක් තොර කහ කොළ ඉස්ම ගෙන එහි දමා හතරට සිඳුවා ගුරුගල්, හුඹස් මැටි, හොඳට පුළුස්සා සමව ගෙන සිල වැඩිකර එම ඉස්මට දියකර දිවුල් ලාටු, හිත්මැලියන්, බිම් දුම්මල යන මෙතුන් වගේ බෙහෙත් වලින් තුනෙන් පංගුවක් දමා උකු නැගනෙ පදමට බා පෙරා මැටි භාජනයකට වත්කරනු, රක්තවර්ණයට හුරු සායමයි.”
මීට අමතරව රත් පැහැය සාදාගත් ක‍්‍රම රාශියක් පිළිබඳව තොරතුරු අධ්‍යයනයේ දී හමු වේ. කහ වර්ණය සාදාගත් ආකාරය පිළිබඳව ජෝන් ඩේවි තම විස්තරයේ දක්වන “ඔවුන් කහ වර්ණය හිරියල් හා ගොතටු බව මම නිසැකවම දනිමි” යන්න තුළින් වඩා තහවුරු වේ. සායම් සාදන පිළිවෙල නම් පුස්කොළ පොතට අනුව, “වරකා මුල සිනිදුව කපාගත පිරිසිදු ජලයට දමා දවසක් තබාගෙන මදක් අඩුකොට පෙරා කිකිළි බිජු කහමද අතේ ගෑවෙන පදමට දමා කහ මදය තරමට ගුරුගල් සිවංගුරු රට කහ මෙකී බෙහෙත් එකට අඹරා ඊට දියකර බා පෙරා ගනු, කහපාට සායමයි” යනුවෙනි.
සුදු පැහැය ලබාගැනීමේ දී මකුළුපස උපයෝගී කරගත් බවට සාධක බොහෝමයක් හමු වේ. සායම් සාදන පිළිවෙල නම් පොතට අනුව, “සුදු තිිරිවානා, බෙලිකටු කිරිමැටි එක පමණ පුළුස්සා අළු ගෙන මූදු වැලි ඉන් භාගයක් පිරිසිදුවට ගෙන කබලෙන් බැද අඹරා බෙහෙත් වලට හාමුකොට කැකුළුහාල් කැඳ උයා ඊට බෙහෙත් අළුවෙන් එකක් ගෙන කුඩුකොට කැඳට දමා බෙහෙත් පමණට අඩුකොට බා නිවෙන්නට තබා මැටි භාජනයකට පොරගනු සුදුපාට සායමයි” (සෝමතිලක 2002:239)
කළු පැහැය සකසා ගැනීමේ දී පිරිසිදු වියළි කොහොල්ලා, කැකුණ තෙල්, හාල් දුම්මල යන මේවා සමව ගෙන හොඳින් අඹරා, කපුරෙදි පහන්කඩ සමඟ එකට මිශ‍්‍රකර පිරිසිදු මැටි බඳුනක දමා මැටි බඳුනකින් වසා මඳ ගින්නේ තබා උණුවෙන්නට හැර එම ද්‍රව්‍ය උණු වී උඩින් වසා ඇති බඳුනෙහි දැලි ලෙස එකතු වූ විටක කළු පැහැය සකස් කරගනී. කළු පැහැය ලබාගන්නා තව ක‍්‍රම කිීපයක් ද පොත්පත් ඇසුරින් දැකගත හැකිය.
මෙම චිත‍්‍ර සම්ප‍්‍රදාය තුළ කලාතුරකින් යොදාගන්නා ලද නිල් පැහැය සකසා ගන්නා ලද්දේ නිල් අවරිය නම් ගසෙන් හා එහි කොළ වලින් ලබාගන්නා යුෂයෙනි. එස්.පී. චාල්ස් මහතා පවසන පරිදි මුහුදුවැලි කබලෙන් බැඳ අරක්කු සමඟ මිශ‍්‍රකර දිවුල් මැලියම් හෝ පරණ හොල්ලා සමඟ අඹරා ගැනීමෙන් ද නිල් පැහැය ලබාගනිති. මහනුවර චිත‍්‍ර සම්ප‍්‍රදායේ දී නිල්පැහැය මෙන්ම කොළ පැහැය ද බොහෝ අඩුවෙන් භාවිත කරන ලද බවක් පෙනේ. ඉතා විරල ලෙසට භාවිත කරන ලද කොළ පැහැය සකසා ගෙන ඇත්තේ නිල් හා කහ වර්ණ සංයෝගයකිනි.
සායම් සාදන පිළිවෙල පුස්කොළ පොතට අනුව මූදෙහි කළු වලා පිරිසිදුවට ගෙන වේලා හීන්කර අඹරා සීල වැඩි කොට එපමණට පිටි වේලා එකට කලවන් කොට ජල මෙනේරි, නුවරඑළිය, පුෂ්පරාජ යන මේවායේ කොළ එක පමණ ගෙන කොටා කුරුම්බා වතුරෙන් මිරිකා බෙහෙත් මෙන් තුන් ගුණයක් ඉස්ම ඊට බෙහෙත් දියකර දෙකට සිඳුවා ඊට දිවුල් ලාටු, ගොරක මාලිවයන්, කඩකයිප්පු, බිම් දුම්මල සිනිඳුවට අඹරා බෙහෙතට දියකර එකට සිඳුවා බා පෙරාගනු කොළ පාට සායමයි.
මෙසේ සකසා ගන්නා ලද සායම් චිත‍්‍රයට කා වැඳීම සඳහා බදාම වතුර ලෙසට දිවුල් ලාටු, ගොකටු මැලියම්, කජු ලාටු, වැන්නක් සමඟ හොඳින් මිශ‍්‍ර කර ගනී. මහනුවර සම්ප‍්‍රදායට අයත් වන ඇතැම් විහාර චිත‍්‍ර ඉක්මනින් දිරාපත් වී ඇත්තේ ඒවා සායම් කිරීමේ දී අනුගමනය කරන ලද දුර්වල ක‍්‍රමයන්ය. දක්ෂ සින්තරුන්ගේ දායකත්වය හොඳින් නොලැබුණු මහනුවරට මදක් දුරබැහැර පළාත්වල කටයුතු ශාස්ත‍්‍රානුකූලව සිදු නොවීම එයට හේතුවයි.
එසේම බොහෝමයක් ස්ථානවල ප‍්‍රධාන වශයෙන් වර්ණ තුනක් පමණ භාවිත කර තිබේ. බොහෝ මෝස්තර සම පැහැයෙන් යුක්ත වර්ණ දෙකකින් සිතුවම් කළ පසු තත්රූපවල ආකාර මාත‍්‍රය දක්වනු පිණිස කළු හෝ රතු වැනි වර්ණයක් භාවිත කර තිබේ. සිතුවමක් වර්ණ ගැන්වීමෙන් පසු අවසන් නිමැවුම ලෙසට වලිච්චිගෑම සිදුකර තිබේ. බිතුසිතුවම් තලය පුරා විහි දී යන පරිද්දෙන් මෙම පාරදෘශ්‍ය වැස්ම යොදා ඇති අතර එය සාදාගත් ආකාරය කුමාරස්වාමි මහතා විස්තර කරයි. පිරිසිදු දුම්මල කුඩු කර සම පමණ ගත් දොරණ තෙල් සමඟ අනා හොඳින් මුසුරක පැය භාගයක් පමණ උණුකර, පසුව සිසිල් වෙන්නට තබා ප‍්‍රයෝජනයට ගන්නට ඇත. මෙය සාදා ගන්නා ආකාර කීපයක්ම නොයෙක් අවස්ථාවල සඳහන් කර ඇති බව අධ්‍යයනයේ දී පැහැදිලි වුණි. මෙවැනි වලිච්චි වැස්මක් චිත‍්‍රය මතට යෙදීමෙන් බලාපොරොත්තු වූ ප‍්‍රයෝජන කිහිපයකි.
1. කාලගුණයෙන් හා කෘමි සතුන්ගෙන් චිත‍්‍රවලට රැකවරණයක් සැලසෙන ආවරණයක් ලෙසට කි‍්‍රයා කිරීම
2. සිතුවම් මත දීප්තියක් හා ඔපයක් ඇතිවීම
මහනුවර සම්ප‍්‍රදායේ සිතුවම් හොඳින් ආරක්ෂා වී ඇත්තේ බිත්ති පෘෂ්ඨය සකස් කර ගැනීමේ සිට වලිච්චි ගෑම දක්වා සිදු කරන්නාවූ කි‍්‍රයාදාමයන් හි සාර්ථකත්වය නිසාවෙනි.
ටැම්පිට විහාර අද වන විට වැනසී යන බෞද්ධ උරුමයක් බවට පත්ව ඇත. එයට ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ගොඩනැඟිලි අබලන් වීමයි. පෙති උළු හෝ සිංහල උළු පියස්ස පහසුවෙන් දිරාපත් වන අතර එවිට වර්ෂා ජලය කාන්දුවීම නිසා බිත්ති වලට සහ බිතුසිතුවම් ප‍්‍රතිමා ආදියට හානි පැමිණේ. උළු කැටවල මුල්ම තෙමීමක දී ඒවාට පිළියම් නොයෙදුවොත් ඒවා ටිකෙන්ටික දිරාපත් වේ. මෙම ටැම්පිට විහාර පුරාවිද්‍යා ස්මරක වශයෙන් නම්කර ඇති නිසා හිතුමතේට ඒවා පිළිසකර කිරීමේ හැකියාවක් නොමැත. නමුත් සමහර විට ටැම්පිිට විහාර පැරණි ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වන අයුරින් නවීකරණයට ලක්කර තිබේ. ඒවා පිටතින් බලන විට ටැම්පිට විහාර ද යන්නවත් නොපෙනෙන තරමට නවීකරණය වී තිබේ.
කෑගල්ල දිස්ති‍්‍රක්කයේ මංගලගම, හිඟුල, අස්මඬල ටැම්පිට විහාර වෙනස් වන පරිදි නවීකරණය කර ඇත. පහන්දැලි හා හඳුන්කූරු පත්තු කිරීම නිසා බොහෝ බිතුසිතුවම් අඳුරු පැහැයට හැරී ඇත.තවද පැරණි බිතුසිතුවම් කෘතිම තීන්තා ආලේපනයෙන් අදක්‍ෂ සිත්තරුන් ලවා අලුත්වැඩියා කිරීම නිසා සිතුවම් විකෘති වී ඇත. එසේම සමහර විහාරවල පැරණි බිතුසිතුවම් වෙනුවට අලුත්වැඩියා සිත්තම් සහ මූර්ති නම්කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා, “ඇතැම් තැන ටැම්පිට විහාර ජරාවාස වෙන්නට හැර අලුතෙන් නවීන සම්ප‍්‍රදායට අනුව විහාර ගෙවල් හා බදිනු ලැබේ. මෙබදු ටැම්පිට විහාරයක් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිකවරුටිය අසල පුත්තලම් පාරේ තලාකොලහේන නම් ගමේ දක්නට ලැබෙනවා. වැඩිකල් යන්නට පෙර වටිනා බිතු සිතුවම් සහිත මෙම විහාරය කැඞී වැටී යයි. එසේම හත් කෝරළේ ටැම්පිට විහාර ගෙවල් ගණනක්ම අලුත්වැඩියා කර බිතුසිතුවම් ද වෙනස් කරලාය” යනුවෙන් පවසයි (විජයවර්ධන 2012:40).
මෙම ලිපිය සඳහා භාවිතා කර ඇති සිතුවම ගංගා රංජනි විසින් අදින ලද්දකි. This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය
- අභයවර්ධන, එච්.ඒ.පී. (1996), කඩයිම්පොත් විමර්ශනය, සංස්කෘතික දෙපාර්තමේන්තුව.
- කරුණාතිලක, ඇන්.ටී. (1993), වයඹ ලංකාවේ රාජධානි, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- කුමාරස්වාමි, ආනන්ද (1962), මධ්‍ය කාලීන සිංහල කලා, සංස්කෘතික දෙපාර්තමේන්තුව.
- ගුණවර්ධන ප‍්‍රිශාන්ත, (2009), පුරාවිද්‍යාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ
- ජයවර්ධන, සෝමපාල (පරිවර්තනය) පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික විස්තරය.
- ධීරානන්ද හිමි, කුඩාවැල්ලේ (1967), ලංකාවේ ඓතිහාසික භූමිසිතුවම්, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
- පරණවිතාන, සෙනරත් (2001), පුරාවිදු පරියේසණ, විසිදුනු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව
- ප‍්‍රනාන්දු ජී.එස්. (2005), සිංහල සැරසිලි සිතුවම් කලාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- මහින්ද හිමි, උණුවතුරබුබුළේ (2007), දකුණේ විහාරවල මහනුවර සම්ප‍්‍රදායේ චිත‍්‍ර, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- මංජු ශ‍්‍රි එල්.ටී.ජී. ලංකාවේ සිතුවම් සටහන්, පුරාවිද්‍යා සංගමය.
- මහාවංසය (2007), සිංහල අනුවාදය මංගල ඉලංගසිංහ , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ්, කොළඹ.
- මහාවංසො (2006), මංගල ඉලංගසිංහ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- මහාවංසය I භාගය (2006), සුමංගල හිමි හා බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- මහාවංසය II භාගය (1962), සංස්. සුමංගල හිමි හා බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- මුදියන්සේ, නන්දසේන (1997), ශ‍්‍රි ලංකාවේ ද්‍රවිඩ සිහිවටන, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- රණසිංහ ඩී.ඩී. (1997) පුරාවෘත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- රත්නායක, කමල් පත්මකුමාර (2003), ටැම්පිට ගෙවල් හා ඒ ආශ‍්‍රිත ගෘහනිර්මාණ ශිල්පය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- රත්නායක, දර්ශන (2009), මහනුවර චිත‍්‍ර සම්ප‍්‍රදාය හා සමාජය, සුරම්‍ය ප‍්‍රකාශන.
- රුවන් පතිරණ, නිමල් සහ මුතුමාල සී.කේ. (2010), ශ‍්‍රි ලංකාවේ ආශ්චර්යමත් දැව නිර්මාණ, පරිසර අමාත්‍යාංශය.
- වංසත්‍ථපපකාසිනී, මහාවංස ටීකාව (1994), අමරවංශ අකුරැටියේ සහ දිසානායක හේමචන්ද්‍ර, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, කැළණිය විශ්වවිද්‍යාලය.
- විජයවර්ධන, කුසුම්සිරි (2009), ශ‍්‍රි ලංකාවේ ටැම්පිට විහාර, දයාවංශ ජයකොඩි සහ සමාගම.
- ශ‍්‍රි ලංකාවේ ටැම්පිට විහාර සම්ප‍්‍රදාය (1999), සංස්. විජේසූරිය ගාමිණී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
- සුරවීර ඒ.වී. (1999), ගම්පහ දිස්ත‍්‍රික්කය (සමාජ සමීක්‍ෂා), සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
- සෝමතිලක, එම්. (2002), මහනුවර සම්ප‍්‍රදායේ බෞද්ධ සිතුවම් කලාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය, I ඛාණ්ඩය, I භාගය, (1971), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය.
- තිස්ස කුමාර, එල්.ඩී.ඒ. ටැම්පිට පිළිමගෙයි වර්ධනය හා විකාශනය, කලා සඟරාව, 33 කලාපය, ,
- Epigraphia Zeylanica, Vol. III, (1963)
- Godakumbura, C. (1953), Journal of the Royal Asiatic Society, Vol.3
- Journal of the Ceylon Branch of the Royal Asiatic Society New Series vol. III, (1953-54)
- Silva D.M.K.D. & Chandrasekara (2003), Architecture of Tampitavihara in Sri lanka, colombo.
---------------------------------------------------------------------------------- මෙම ලිපිය 2020.02.13 වැනි දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. ----------------------------------------------------------------------------------
අනුරාධපුර, රළපනාව කිරිවෙහෙර අප‍්‍රකාශිත ටැම් ලිපි
බැරගම සද්ධානන්ද හිමි1 හා කරුණාසේන හෙට්ටිආරච්චි2
1පාළි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, හෝමාගම, 2ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ.
හැඳින්වීම
අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙහි නොච්චියාගම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව පිහිටි රළපනාව නම් ගම රළපනාව නම් වූ සුන්දර වැව ආශ‍්‍රය කොටගෙන ගොඩනැඟුණු සාම්ප‍්‍රදායික වැව් ගමකි. 1890 දශකයෙහි උතුරු මැද පළාතේ සිවිල් සේවයේ නියුක්තව සිටි බි‍්‍රතාන්‍ය ජාතික ආර්.ඩබ්ලිව්. අයිවර්ස් මහතා රළපනාවේ වැව අති රමණිය විලක් බඳු එකක් යැයි වාර්තාකර ඇත (අයිවර්ස් 2004:282). පුත්තලම අනුරාධපුර මාර්ගයේ අනුරාධපුර නගරයට කිලෝමීටර් 20ක් පමණ මෙපිටින් පිහිටි සිංහාරගම හංදියෙන් දකුණට හැරී ගුරු පාරෙහි කිලෝමීටර් 1ක් පමණ රළපනාව වෑ කණ්ඩිය මතින් ගමන් කිරීමෙන් රළපනාව කිරිවෙහෙර රජමහා විහාරයට පැමිණිය හැකි ය. මෙය වසර දහස් ගණනක ඉතිහාසයට උරුමකම් කියන නිශ්චිත ගොඩනැඟිල්ලකට අයත් සේ හඳුනාගත නොහැකි ගල්කණු, ගල් කුට්ටි, කැටයම් රහිත සඳකඩපහණ ආදී ශිලා ඉදිකිරීම් අංග මෙන්ම ශිලා යූපගල, පහන් ආදී වස්තු බොහොමයකින් සමන්විත විහාරස්ථානයකි. විහාරස්ථානයට උතුරු දිශාවෙන් යාබද ඉඩමෙහි රළපනාව වලව්ව පිහිටි භූමිය වේ. අයිවර්ස් සඳහන් කරන පරිදි 1849 වන විට අනුරාධපුර බටහිර දිසාව (කොට්ඨාශය) රළපනාවේ රටේ මහත්මා විසින් පාලනය කොට ඇති අතර 1870 වන විට ඔහු විසින් රළපනාව වැවෙහි සොරොව්ව ද ප‍්‍රතිසංස්කරණයකර අවසන්කොට තිබී ඇත (අයිවර්ස් 2004:153,282). ඔහුගේ මෙම ක‍්‍රියාව එම කලාපයේ ජනතාවගේ ජනජීවිතය ගොඩනඟා ගැනීමට බෙහෙවින් ඉවහල්වන්නට ඇත. අයිවර්ස් වැඩි දුරටත් සඳහන් කරන පරිදි 1813 උපන් රළපනාව රටේ මහතා වයෝවෘධයෙකු වුවත් නුවර කලාවියේ වතගොත පැවසීමට ද හොද මතකයක් තිබූ ඇත්තෙකි (එම 2004:272). රළපනාව විහාරස්ථානයෙහිි මෑත කාලීන ආරම්භය ද මීට ආසන්න සමයක සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. මෙම විහාරස්ථානයෙහි ඇති විශේෂතම වටිනාකම් සහිත භෞතික වස්තුව වන්නේ භූමියෙහි සිටුවා ඇති අනුරාධපුර යුගයට අයත් ටැම් ලිපියයි. ඒ හැර 1898 දී පිහිටුවන ලද මෑත සමයට අයත් සෙල් ලිපියක් ද වේ. මෙම විහාරස්ථානයෙහි පැරණි නම හෝ එහි ආරම්භය පිළිබඳ නිශ්චිත සාධක ඉදිරිපත් කළ නොහැකි ය. එපමණක් නොව මෑත කාලීන ආරම්භය පිලිබඳව ද පැහැදිළි තොරතුරු සොයා ගැනීම දුෂ්කර ය. විවිධ හේතු මත වරින්වර ස්වාමීන් වහන්සේලාගෙන් විහාරස්ථානය හිස් වූ බව පෙනේ. එබැවින් අඛණ්ඩ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවකට විහාරස්ථානයෙහි හිමිකාරකම හිමි වූ බවක් පෙනෙන්නට නැත. විහාරස්ථානයේ ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් කෙටි සටහනක් ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් 1896 දී වාර්ෂික පුරාවිද්‍යා වාර්තාවේ තබා ඇත. ඔහු මෙම විහාරස්ථානය මහනුවර සම්ප‍්‍රදායේ සැරසිලිවලින් යුක්ත එකක්වන බවත් පැරණි නෂ්ඨාවශේෂ කීපයකුත් දාගැබක් හා 10වන සියවසට අයත් කෙටි ශිලාලේඛනයක් ඇති බවත් වාර්තාකර ඇත (ASCAR 1896:4). 1890 දශකයවන විට මෙම විහාරස්ථානය දියුණු මට්ටමක තිබුණු බවට වැදගත් සාධකයක් කොළඹ ජාතික කෞතුකාගාරය මගින් ප‍්‍රකාශිත පුස්කොළ පොත් නාමාවලියෙන් ලැබේ. එහි වාර්තාකර ඇති තොරතුරුවලට අනුව රලපනාව විහාරස්ථානයෙහි වැඩ සිටි නවගත්තේගම තෙරුන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේ නමක් විසින් කොළඹ කෞතුකාගාර පුස්තකාලයෙහි තැන්පත් කිරීම සඳහා පුස්කොල පොත් 5ක් පිටපත්කොට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී ඇත. මේ පුස්කොළ පොත් අතර බාලෝවාදය (අංකය 787) 1899.6.1 දින දීත් පඤ්චදුස්සීලය (අංකය 61) 1900.3.5 දින දීත් දළදා අෂ්ටක (අංකය 905) මුණිරාජ අෂ්ටකය (අංකය 1167) පදලාංඡන අෂ්ටක (අංකය 1268) යන ග‍්‍රන්ථ 1900 වර්ෂයේ දීත් කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ලබා දී ඇත (Silva 1938:17,134,149,182,196). මෙම ස්වාමීන් වහන්සේගේ සඤ්ඤා නාමය උක්ත එක් පොතකවත් සඳහන්ව නැත. නවගත්තේගම යන තම ගමෙහි නමින් පමණක් පෙනී සිටිති. 1900 වර්ෂය වනවිට එනම් අදින් වසර සියයකට පෙර මෙම විහාරස්ථානය සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන්ගෙන් රචිත පුස්කොළ පොත් සහිත හොඳ පුස්තකාලයක් තිබූ බව අනාවරණය වන අතර ම දැන උගත්කම්වලින් යුතු තෙරුන්වහන්සේලා වැඩසිටි බව ද පැහැදිළි වේ. එහෙත් වර්තමානය වන විට එකදු පැරණි පුස්කොළ පොතක් හෝ විහාරස්ථානය සතුව නැත. වරින්වර පැන නැඟුණු අර්බුද හේතුවෙන් පැරණි පුස්කොළ පොත් පමණක් නොව විහාරස්ථානය සතු වටිනා විවිධ පරිභෝග භාණ්ඩ, ඉඩකඩම්, ටැම්පිට පිළිම ගෙය ආදී බොහෝ දේ විනාශ වන්නට ඇත. මේ හැර මෙම විහාරස්ථානය සතුව ඇති එතරම් විශාල නොවූ දාගැබ ද එහි ඇති නූතන ශිලා ලේඛනයකට අනුව නිර්මාණය කොට ඇත්තේ ද බුද්ධ වර්ෂ 2421 හෙවත් කි‍්‍රස්තු වර්ෂ 1898 වර්ෂයේ දීය. එහි තිබී විනාශව ගිය පැරණි දාගැබක් නැවත පිළිසකර කරන්නට ඇතැයි සිතිය හැකිය. බෙල් ද මෙම නෂ්ඨාවශේෂ දාගැබ ගැන වාර්තාකර ඇත (ASCAR 1896:4). මෙම දාගැබට අයත් යැයි සිතිය හැකි අනුරපුර යුගයේ මුල් සමයේ දාගැබ් සඳහා භාවිත යූපස්ථම්භයක් ද වර්තමානයෙහි මෙම දාගැබට නුදුරින් ටැඹක් මෙන් සිටවා තිබෙනු දක්නට ලැබේ. මෙම දාගැබෙහි ඉදිකිරීමේ කාර්යය ද නවගත්තේගම තෙරුන්වහන්සේ විසින් සිදු කරන්නට ඇත. මෙම තෙරුන්වහන්සේ සහ උන්වහන්සේගේ සංඝ පරම්පරාව පිළිබඳව කිසියම් හෝ තොරතුරක් සොයාගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. වර්තමාන විහාරස්ථානයෙහි හිමිකාරකම සියම් නිකායට අයත් මල්වතු පාර්ශ්වයෙහි ගල්ගමුව දේවගිරි විහාර පරම්පරාවට අයත් වේ. ඒ අනුව, එම පරපුරට අයත් මෑත සමයෙහි වැඩසිටි විහාරාධිපතීන් වහන්සේලා ලෙස වෑගෙදර රතනපාල නා හිමි (අපවත්වීම 1990.1.31), කිරිතේක්කුවේ පඤ්ඤාසාගර නා හිමි (අපවත්වීම 2005.3.14) වර්තමාන විහාරාධිපතිත්‍වය එරියාවේ පඤ්ඤාවිමල නා හිමියන් වහන්සේට හිමිව තිබෙන අතර උන්වහන්සේ යටතේ විහාරාධිකාරී ධුරය ප‍්‍රථමයෙන් ශිෂ්‍ය පුත‍්‍ර රළපනාවේ පඤ්ඤාසිරි ස්වාමීන්වහන්සේ 2014 වර්ෂය වනතෙක් දැරූ අතර උන්වහන්සේ වෙනත් විහාරස්ථානයකට වැඩමවීම හේතුවෙන් 2015 වසර සිට මේ දක්වා ශාස්ත‍්‍රවේදී වෑගෙදර රතනසිරි ස්වාමීන්වහන්සේ කටයුතු කරමින් සිටිති. දැනට මෙම විහාරස්ථායට හිමිව ඇත්තේ අක්කර 3 1/4ක පමණ සුළු භූමි භාගයක් පමණි. මෙහි ඉතා පැරණි බෝධියක් දක්නට ලැබෙන අතර මදක් පැරණි හා නූතන ආවාස ගෙවල් දෙකකි. එසේම පැරණි ධර්ම ශාලාව ඉවත්කොට නව ධර්ම ශාලාවක් ඉදිවෙමින් පවතී.
පැරණි ටැම් ලිපිය
මෙම ටැම් ලිපිය දැනට පැරණි ආවාස ගෘහය ඉදිරිපිට දාගැබට නුදුරින් වෙනත් ගල් කණු සමග සිටුවා ඇත. ග‍්‍රැනයිට් පාෂාණයෙන් කළ ලිපියේ එක් මුහුණතක තිරස්ව ලියන ලද අක්‍ෂර පේළි 9ක් තිබෙන අතර අනෙක් මුහුණතක බලු හා කපුටු රූප වේ. ස්ථම්භයේ උස මීටර් 1 සෙන්ටිමීටර් 10ක් පමණ වන අතර පළල සෙන්ටිමීටර් 21ක් පමණ වේ. ටැඹෙහි ඉහළ අන්තය පුන්කළසක හැඩයකට සමානව නිර්මාණය කොට තිබෙන්නට ඇතත් එම කොටස නිධන් ඇතැයි යන විශ්වාසයෙන් කවරෙකු හෝ විසින් විනාශ කර දමන්නට ඇතැයි සිතේ. බෙල්ගේ වාර්තාවෙහි මෙම සෙල්ලිපිය 10වන සිය වසට අයත්වන බව වාර්තා කර ඇතත් එය විහාර භූමියෙහි සිටුවා තිබූ තැනක් සඳහන් කර නැත (ASCAR 1896:4,8). මේ හැර ඉහත වාර්තාවෙහි බෙල් මහතා විසින් මෙම ශිලාලේඛනය සම්බන්ධයෙන් අතිශය වැදගත්වන තවත් පාදක සටහනක් තබා ඇත. එනම් මෙම ශිලාලේඛනයෙහි තවත් පිටපතක් කොළඹ කෞතුකාගාරයෙහි ඇති බවය. ඒ අනුව කොළඹ කෞතුකාගාරයේ ශිලාමය නිර්මාණ අංශයෙහි එබඳු ලිපියක් තිබේ දැයි අප විසින් සොයා බැලීමේ දී රළපනාව නමින්ම මීට හැම අතින්ම නිර්මාණ ලක්‍ෂණයෙන් හා අන්තර්ගතයෙන් සමාන ටැම් ලිපියක් දක්නට ලැබුණි. මෙම ස්ථම්භයේ උස මීටර් 1 සෙන්ටිමීටර් 35ක් හා පළල සෙන්ටිමීටර් 28ක් පමණ වේ. ටැඹෙහි ඉහළ අන්තය පුන්කළසක හැඩයක් ගනී.


එය 24-57-85-15 අංකය යටතේ කෞතුකාගාරයෙහි ලියාපදිංචි කොට ඇත. මේ පිළිබඳ කෞතුකාගාර මුල් ලේඛන අධ්‍යයනයේ දී පැහැදිළි වූයේ 1924 දී කෞතුක භාණ්ඩ ලියාපදිංචියේ දී මෙම අංකය දී ඇති බව ය. එහෙත් එහි එම ලිපිය කෞතුකාගාරය වෙත ගෙන ආ දිනයක් හෝ පුද්ගලයෙකු පිළිබඳ කිසිදු සඳහනක් නැත. එසේ වුවත් ඉහත දක්වා ඇති පරිදි බෙල් මහතාගේ වාර්තාවට අනුව මෙම ටැම් ලිපිය 1896 වර්ෂය වන විටත් කොළඹ කෞතුකාගාරය වෙත ගෙනැවිත් තිබූ බව පැහැදිළි විය. කෞතුකාගාරයෙහි ශිලාලේඛන ප‍්‍රදර්ශන පුවරුවෙහි රැළපනාව ටැම් ලිපිය යනුවෙන් දක්වා පිහිටි ස්ථානය අවිද්‍යමානයි යනුවෙන් සටහන් කොට තිබීමෙන් මෙය මුලින් පිහිටිස්ථානය ගැන සැකයක් පවත්නා බව පෙනේ. මේ හැර මෙම ලිපිය 2005 වර්ෂයේ දී මහාචාර්ය සිරිමල් රණවැල්ල මහත්මා විසින් කියවා Sinhala Inscriptions In The Colombo National Museum නම් ග‍්‍රන්ථයෙහි රළපනාව ටැම් ලිපිය යනුවෙන් පලකොට ඇති අතර එහි වැඩිමනත් තොරතුරක් වශයෙන් මෙය සිංහාරගම ටැම් ලිපියෙහි පටපතක් ලෙස ද දක්වා ඇත (Ranawella 2005i:89). සිංහාරගම යනු, රළපනාව ගමට උතුරින් වූ අල්ලපු ගමය. මේ අනුව 1924 වර්ෂයේ දී තැබූ කෞතුකාගාර වාර්තාවල හා රණවැල්ල මහත්මාගේ ඉහත ප‍්‍රකාශය මදක් අවුල් සහගත තත්වයක් ඇති කරවයි. එනම් රළපනාවේ ශිලාලේඛනය තවමත් රළපනාව විහාරස්ථානයෙහි ම තිබෙන හෙයින් කොළඹ කෞතුකාගාරයෙහි ලිපිය රළපනාව ටැම් ලිපිය වශයෙන් නම් කරන ලද්දේ කවර හෙයින් දැයි පැහැදිළි නැත. අනෙක් අතින් දැනට සිංහාරගම ගමෙහි එබඳු ශිලාලේඛනයක් දක්නට නොමැත. ඉහත දැක් වූ පරිදි 1896 පුරාවිද්‍යා වාර්ෂික පාලන වාර්තාවේ බෙල් මහතා සඳහන්කර ඇත්තේ රළපනාව විහාරස්ථානයෙහි ඇති ටැම් ලිපියෙහි පිටපතක් කොළඹ කෞතුකාගාරයෙහි ඇති බව ය. ඇතැම්විට රණවැල්ල සඳහන් කරන සිංහාරගම ගමෙහි තිබූ ටැම් ලිපිය කොළඹ කෞතුකාගාරයෙහි ඇති ලිපිය වීමට ඉඩ ඇත. එය 1896ට පෙර එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ බෙල් විසින් ම කොළඹ කෞතුකාගාරයට ගෙනගියා වීමට ද පුළුවන. එසේ වුවහොත් අපට අනුමාන කළ හැක්කේ රළපනාව හා සිංහාරගම දෙ පසකින් භූමි සීමාව දැක්වීමට ගල් කණු දෙකක අදාළ එකම නීති කෙටුම්පත් කොට සිටුවා තැබූ බව ය. අනුරාධපුර යුගයට අයත් ගැරඬිගල ශිලාලිපියෙහි ද යම් යම් පරිත්‍යාගයන් කිරීමේ දී භූමි සීමාව දැක්වීමට ගල් කණු සිටුවීම කළ බව සඳහන්ය (විමලකිත්ති හිමි 1957:110). රළපනාව විහාරස්ථානයෙහි ඇති අපගේ මාතෘකාවට අදාල ටැම් ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1963.5.21 දින පිටපත් කොට අංක 2512 යටතේ ලියාපදිංචි කර ඇත. එම ස්පර්ෂ ලාඤ්ඡනය දෙපාර්තමේන්තුව සතුව පවත්නා අතර මෙම ලිපිය මහාචාර්ය සිරිමල් රණවැල්ල මහත්මා විසින් 2005 වර්ෂයෙ දී කියවා Inscriptions of Ceylon නම් ග‍්‍රන්ථයෙහි රළපනාව ටැම් ලිපිය යනුවෙන් පලකොට ඇති අතර එහි වර්තමාන පිහිටීම ලෙස අනුරාධපුර දිස්ති‍්‍රක්කයට අයත් විලච්චිය කෝරළයේ සිංහාරගම, රළපනාව යනුවෙන් දක්වා ඇත (Ranawella 2005ii:116). මේ ලිපියේ අක්‍ෂර පේළි 8ක් ඇතත් එතුමා අක්‍ෂර පේළි 7කින් පමණක් මුළු පෙළම දක්වා ඇත. ලිපි දෙකෙහි ම පෙළ සමාන වුව ද පේළි ගණන වෙනස්ය. ඒ අනුව, එය කෞතුකාගාර ලිපියේ පෙළට සමාන ය. කෙසේ වෙතත්, මෙම ලිපි දෙක පිළිබඳව ඉදිරිපත්ව ඇති කොළඹ ජාතික කෞතුකාගාර හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වාර්තා කිරීම් ව්‍යාකූලතාවක් පවත්නා බව පැහැදිළිවේ.
පේළි අංකය | ලිපියෙහි පෙළ |
1 | ශ‍්‍රී |
2 | රද්කො |
3 | ල් කැමි |
4 | යන් දු |
5 | නුමඩ් |
6 | ලන් නො |
7 | වද්නා |
8 | ඉසා |
බලුකපුටු රූප අනෙක් පස වේ.
අර්ථය
යහපතක් වේවා රාජකීය නිලධාරින් සහ ධනුර්ධර සේනා බල ඇණිය. (මෙම ඉඩමට) ඇතුළු නොවිය යුතු ය.
විමර්ශනය
රළපනාව සෙල්ලිපිය දිවයිනේ මෙතෙක් වාර්තා වී ඇති ටැම් ලිපි සමඟ සැසඳීමේ දී ප‍්‍රමාණයෙන් කුඩා එකකි. එසේම මෙම ලිපිය කවර රජ කෙනෙකු විසින් කවර කාලයක නිකුත් කරන ලද්දක් ද යන කරුණු කිසිවක් වාර්තා කොට නැත. ඒ අනුව එහි අන්තර්ගත කරුණු ද ප‍්‍රමාණයෙන් අඩුය. අක්‍ෂර ලක්‍ෂණ අනුව කි‍්‍රස්තු වර්ෂ 9-10 සියවස් වලට මෙය යටත් කළ හැකි ය. ලිපිය ආරම්භ වන්නේ ‘ශ‍්‍රී’ යන ආශිර්වාදාත්මක පදයකිි. එය ඉහළ පේළියෙහි තනි අක්ෂරයක් ලෙස දක්වා ඇත. කි‍්‍රස්තු වර්ෂ 8 වන සියවසෙන් පසුව සෙල්ලිපිවල මෙම ආශිර්වාදාත්මක පදය යොදා ඇති අවස්ථා බොහොමයක්ම හමු වේ.
ඉන් අනතුරුව අවධාරණය කොට ඇත්තේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් කාණ්ඩ දෙකකට අදාළ භූමි කලාපයට ඇතුළු නොවන ලෙස නීති පැනවීම ය. ඉන් පළමු කාණ්ඩය රද්කොල් කැමි ලෙස දක්වා ඇත. රාජ්‍ය නිලධාරී ලිපිකරුවන් හෝ කර්මාන්ත ප‍්‍රධානීන් මෙයින් අදහස් කෙරේ රද්කොල් යනු, රාජකුල ලෙසත් කැමි යනු ලිපිකරුවන් හෝ කර්මාන්ත ප‍්‍රධානීන් යන අදහස් ඇතැයි සුමංගල ශබ්දකෝෂයෙහි දැක් වේ (සෝරත හිමි 1963:264,283). ලිපියෙහි සඳහන් අනෙක් නිළධාරීන් වන්නේ දුනුමඩ්ලන් ය, මින් අදහස්කර ඇත්තේ ධනුර්ධර සේනාවය (රණවැල්ල 2004:141). රජයට මුහුණ දීමට සිදුවන යුධමය කටයුතුවල දී සහය දැක්වීම සඳහා අශ්වාරෝහක, පාබල හා නාවික සේනාවට අමතරව දනුද්ධර සේනාවක් ද සිටි බව ඓතිහාසික මූලාශ‍්‍රය සාක්ෂි දරයි. ඔවුන්ගේ කාර්යය වන්නේ යම්කිසි අවස්ථාවක ආක‍්‍රමණයක් හෝ ගැටුමක් ඇති වූ විට එය පාලනය කිරීම පිනිස ක‍්‍රියා කිරීමයි.
මෙම අණ මැකුවන් හා සාංඝික දේ භුක්ති විඳින්නන් මරණින් මතු අත්භවයන්හි දී බලුකපුටු ආදී තිරිසන්ගත සත්ව ආත්මවල ඉපදීමට සිදුවන බව විශ්වාස ගැන්වීමට බලුකපුටු රූප සටහන් කොට ඇත. බොහෝ ශිලාලේඛනවල රේඛා සටහනින් පමණක් මෙම රූප සටහන්කර ඇතත් මෙම ශිලාලේඛනයෙහි ඒවා අර්ධ උන්නතව මතුකොට දක්වා තිබීම විශේෂත්වයකි.


දෙ වන ටැම් ලිපිය
ඉහත විස්තර කළ අනුරපුර යුගයට අයත් ටැම් ලිපියත් දාගැබත් අතර දාගැබට සමීපයෙන් මෙම ටැම් ලිපිය සිටුවා ඇත. මීටර් 1ක් පමණ උසින් යුතු මෙම ලිපියෙහි එක් මුහුණතක පමණක් අක්‍ෂර පේළි 8ක් සටහන් කොට ඇත. මුල් අක්‍ෂර දෙ පෙළ සිරස් අතට හා ඉතිරි අකුරු තිරස්ව ලියා ඇත. ඊට ප‍්‍රති විරුද්ධ පැත්තෙහි පද්ම පීඨයක් මත වූ දාගැබ් සටහනකි. දාගැබ ගර්භයෙන් රැස් විහිදුවන ආකාරයක් හැඟවීමට වක‍්‍රාකාර වාමාවෘත රේඛා මාලාවකි. මෙම ශිලාලේඛනය බුද්ධ වර්ෂ 2421 හෙවත් ක‍්‍රිස්තු වර්ෂ 1898 වර්ෂයේ දී පිහිටු වන ලද්දක් වන හෙයින් වසර 120ක් පමණ පැරණි නූතන ගනයට අයත් එකක් වුවත් ලිපිය කොටා ඇත්තේ වෙනත් උවමනාවක් වෙනුවෙන් නිර්මිත පැරණි ගල් කණුවක් උපයෝගී කොට ගෙන බව පෙනේ. ගල් කණුවේ ඉහළ අන්තය හතරැස්ව සිටින සේ අගල් 4ක් පමණ ගැඹුරට හාරා ඇත.
පේළි අංකය | පෙළ |
1 | ශ‍්‍රී බුඬ |
2 | වර්ෂ 2421 |
3 | රත්න |
4 | මලල |
5 | වන්නකු |
6 | රාල |
7 | ආරච්චි |
8 | ල |
විමර්ශන
මෙම ලිපියෙහි බුද්ධ වර්ෂ 2421ට අමතරව රත්නමලල වන්නකුරාල ආරච්චිලගේ නම පමණක් සඳහන්ව ඇතත් එම ලිපිය පිහිටු වීමේ අරමුණ ලිඛිතව දක්වා නැත. නමුත් රැස් විහිදුවන දාගැබක සටහනක් දක්වා තිබීමෙන් පැහැදිළි වන්නේ දාගැබෙහි ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් මෙය පිහිටුවන ලද බවකි. ඒ අනුව, රත්නමලල වන්කුරාල ගම්මුලාදෑනිවරයා මෙම කටයුත්තෙහි මූලිකත්‍වය ගෙන කටයුතු කළ බව පෙනේ. මේ වන විට රළපනාවේ රටේ මහත්මා ද මිය ගොස් සිටි බව පෙනෙන හෙයින් රත්නමලල වන්කුරාල මෙම කටයුත්තෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන්ට ඇතැයි සිතිය හැකි ය. එම පරපුරට අයත් පුද්ගලයෝ තවමත් එම කලාපයෙහි ජීවත්වෙති. නමුදු රත්නමලල වන්නකුරාල ආරච්චිල පිලිබඳ සැලකිය යුතු තොරතුරු සොයාගත නොහැකි විය.
මෙම දාගැබ චතුරස‍්‍රාකාර වැලි මළුවක් මත සරල තුන් මහල් පේසාවකින් යුතුව බුබ්බුලාකාර හැඩයෙන් යුතුව නිර්මාණය කොට ඇත. ගර්භය මත නිමිි හතරැස් කොටුව සිලින්ඩරාකාර දේවතා කොටුව හා කොත් කැරැල්ල ඉතා වාම්ය. වසර 120 පමණ සිටම බොහෝ විට වාර්ෂිකව දාගැබෙහි හුණු ආලේප කිරීම හේතුකොට ගෙන කොත් කැරැල්ලෙහි දාර හෙවින් මැකී ගොසිනි. සුදෝ සුදුවන් මෙම දාගැබ විහාරස්ථානයට මහත් වූ ආලෝකයක් ලැබ දීමට සමත්ය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය
- අයිවර්ස්, ආර්.ඩබ්ලිව්. (2004), එදා වැව් බැඳි රාජ්ජෙ, පරිවර්තය, එම්.යූ. තෙන්නකෝන් හා වර්ෂා තෙන්නකෝන්, ඇස්. ගොඩගේ සහ සමාගම මරදාන.
- රණවැල්ල, සිරිමල් (2004), සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
- සෝරත හිමි, වැලිවිටියේ (1963), ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය, අනුල මුද්‍රණාලය, කොළඹ.
- විමලකිත්ති හිමි, මැදඋයන්ගොඩ (1957), ශිලාලේඛන සංග‍්‍රහය, 4 වන කොටස, දොඩංගොඩ සහ සමාගම, මොරටුව.
- Ranawella, Sirimal (2005) i: Sinhala Inscriptions In The Colombo National Museum, Department Of National Museum, Colombo.
- Ranawella, Sirimal (2005) ii: Inscriptions of Ceylon, Department Of Archaeology, Colombo.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.02.06 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
අන්දරවැව, මහාශිලා සුසානයෙන් හමුවන වීදුරු පබළු හා ලෝහ මෙවලම්
ඩි. තුසිත මැන්දිස්
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.


අන්දරවැව හා තදාශ‍්‍රිත කලාපයේ වීඳුරු පබළු නිර්මාණය කිරීම
ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස තොරතුරු අධ්‍යනයේ දී එම ජනාවාස හා සුසාන ආශ‍්‍රිත ව ලැබෙන්නා වූ පබළු පිළිබඳ අධ්‍යයනය කිරීම ද අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන් ම මෙහි දී කානීලියන් හා ඇගේට් පාෂාණය මෙන් ම වීදුරු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති පබළු වැඩි වශයෙන් වාර්තා වී තිබේ. මෙම පබළු අතර වීදුරු පබළු පූර්ව ඓතිහාසික යුගයේ දී මෙරට නිර්මාණය කළ බවට තොරතරු සුසාන ආශි‍්‍රත ව ලැබී ඇති පබළු හා පබළු නිශ්පාදනයට අදාළ කාර්මික ශේෂ තුළින් පැහැදිළි වේ. ඒ අතර විවිධ හැඩයන්ගෙන් සමන්විත විදුරු පබළු රාශියක් හමු වී තිබේ. ඒවා නිල්, කොළ, දුඹුරු හා සුදු ආදී වර්ණවලින් නිර්මාණය කර ඇති බව හමු වී ඇති සාධක තුළින් පැහැදිලි වේ. අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය සම්බන්ධ ව පැරණිතම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය, කොක්එබේ මෙගලිතික සුසානය ඇසුරිනි. එම සුසානයෙ 2016 වර්ෂයේ සිදුකරන ලද කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානය තුළින් නිල් කොළ හා දුඔුරු වර්ණයෙන් නිරිමිත වීදුරු පබළු ලැබී තිබේ (මැන්දිස් 2016:246-257).
අනුරාධපුර ඇතුළුපුරයේ AG 69 කැනීමේ දී හමු වී ඇති වීදුරු පබළු ක‍්‍රිස්තු පූර්ව 350-100 අතර කාලයේ භාවිත වී ඇති බවට කාලනීර්ණය වී තිබේ (Deraniyagala 1972:136). දැරණියගලගේ විග‍්‍රහ කිරීම් අනුව ඇතුළුපුරයෙන් හමු වූ පබළු වර්ගවල හැඩවලට සමාන හැඩ, උජ්ජේන් (Ujjain), අහිඡත‍්‍ර (Ahichchatra) හා හස්තිනාපුර් (Hastinapur) කැනීම්වල දී ද වාර්තා වී තිබෙන බව ඝෝෂ්, ඩික්සිත් හා ලාල් වැනි ඉන්දීය විද්වත්හු පෙන්වා දී ඇති බව දැරණියගල පැහැදිලි කර දී තිබේ තිබේ (ibid). දැරණියගලගේ 1972 අනුරාධපුර ඇතුළුපුර පබළු වර්ගීකරණයට අනුව එහි සඳහන් හැඩවලට සමාන වන හැඩ සහිත පබළු වර්ග කොක්එබේ මෙගලිතික සුසාන භූමිය තුළින් ක‍්‍රිස්තු පූර්ව 790 දී, ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය තුළින් ක‍්‍රිස්තු පූර්ව 700 හා ගල්ගමුව, අන්දරවැව මෙගලිතික සුසාන භූමියෙන් ක‍්‍රිස්තු පූර්ව 500 දී මෙන්ම පොල්පිිතිගම මෙගලිතික සුසාන භූමියෙන් ක‍්‍රිස්තු පූර්ව 520ට අයත්ව ලැබී ඇති බව කාලනීර්ණ තුළින් ඔප්පු වී තිබේ. කොක්එබේ මෙගලිතික සුසානය තුළින් සහ අන්දරවැව මෙගලිතික සුසානය තුළින් හඳුනාගත් පබළු අතර සිරාන් දැරණියගලගේ අනුරාධපුර ඇතුළුපුර පබළු වර්ගීකරණයට සමාන හැඩ සහිත පබළු වර්ග වන රවුම් ආකාර පැතලි පබළු (Circular Disk Beads) වර්ගයට අයත් හැඩ අන්දරවැව පබළු ගොනුවේ තිබේ. එම සමානතා අනුව අනුරාධපුර ඇතුළුපුරයේ හමුවන 8A, 8B, 9A, 9B, 10 A, 10B හැඩති රවුම් ආකාර පැතලි හැඩ පබළුවලට සමාන වේ (ibid 1972:134-135). මෙයට සමාන හැඩ සහිත දුඹුරු, නිල් හා කොළ පැහැති වීදුරු පබළු කොක්එබේ මෙගලිතික සුසානයෙන් ද වාර්තා වන අතර ගල්ගමුව අන්දරවැව සුසානයෙන් දුඔුරු පැහැ වීදුරු පබළු පමණක් වාර්තා වී තිබීම ද විශේෂ වේ. වීදුරු පබළු භාවිතය ඇතුළුපුර ජනාවාසය තුළ මධ්‍ය මුල් ඓතිහාසික අවධිය තුළ දී (Mid- Early Historic 250 BC-100 AC) භාවිත වී තිබෙන බව ද දැරණියගල වැඩි දුරටත් පෙන්වා දී තිබේ (Deraniyagala 1992:712). නමුත් උතුරුමැද පලාත තුළ ක‍්‍රිස්තු පූර්ව 790 දී වීදුරු පබළු භාවිත වී ඇති බව කොක්එබේ මෙගලිතික සුසානයේ දින වකවානු තුළින් (මැන්දිස් 2016:246-257) පැහැදිලි වන අතර අන්දරවැව හා පොල්පිතිගම මෙගලිතික සුසානයේ දින නීර්ණ අනුව ද කි‍්‍රස්තු පූර්ව 500 දී හෝ ඊට පෙර දී වයඔ පලාත තුළ වීදුරු පබළු නිෂ්පාදනය වීම සිදු වී තිබේ. එසේ නම් පූර්ව ඉතිහාසයේ ප‍්‍රධාන ජනාවාසයක් වන අනුරාධපුර ඇතුළුපුරයට පූර්වයෙන් එම ජනපදයට නැඟෙනහිර හා වයඔ කලාපය (කොක්එබේ හා අන්දරවැව) තුළ වීදුරු පබළු භාවිතය මෙන් ම පබළු නිෂ්පාදනය කිරීම සිදු කර තිබෙන බව මෙම දත්ත අනුව පැහැදිලි වේ. අන්දරවැව මෙගලිතික සුසානයට උතුරු දෙසින් හමු වූ විනාශ කර දමා තිබූ වීදුරු නිෂ්පාදනයට යොදාගන්නා උඳුනක ශේෂ අනුව එම ප‍්‍රදේශයේ පබළු නිෂ්පාදනය කළ බව පැහැදිලි වේ. වාරි මාර්ග දෙපාර්තුමේන්තුව විසින් මේ වන විට මෙම උඳුන කඩා බිද දමා වාරි ඇලක් සකස් කර තිබේ. එම උඳුනේ උඳුන් බිත්තිය පරීක්‍ෂා කිරීමේ දී එම උඳුන් බිතිතියේ ඇලී ඇති එහි නිර්මාණය කරන ලද වීදුරු කොටස් අනුව ඒවා දුඔුරු පැහැ වීදුරු බවත් වීදුරු නිෂ්පාදනයේ දී උඳුන් බිත්තියේ ඇලෙන ලද වීදුරු කොටස් එසේ තැන්පත් වී ඇති බවත් පැහැදිලි ලෙස හඳුනාගත හැකි ය. එම වීදුරු කොටස් අනුව දුඔුරු පැහැ වීදුරු එම උඳුනේ නිෂ්පාදනය කර ඇති බවට තහවුරු කළ හැකි ය.


මෙම උඳුනට සමාන උඳුන් රාශියක් අන්දරවැවට ආසන්න තඔුත්තේගම ගිරිබාව ප‍්‍රදේශයේ ද පිහිටා තිබේ. ජේම්ස් ලැන්ක්ටන් විසින් එම ප‍්‍රදේශයේ සිදුකර ඇති පර්යේෂණවල දී එම උඳුන් වීදුරු හා පබළු නිර්මාණය කිරිම සඳහා භාවිත කර තිබෙන බවත් ඒවායින් නිර්මාණය කර තිබෙන පබළු එම ප‍්‍රදේශය ඇසුරින් හඳුනාගත් බවත් වාර්තා කර ඇත (James 2014:2- 6). ලැන්ක්ටන් පෙන්වා දෙන අකාරයට ගිරිබාවේ පබළු නිර්මාණය සඳහා නල (Tube) සකස් කර අනතුරුව ඒවා පෙති ලෙස (Slice) කර තිබේ. අප විසින් ගිරිබාව ප‍්‍රදේශයේ සිදු කරන ලද ක්‍ෂේත‍්‍ර විමර්ශනයේ දී පැහැදිලි වූයේ විවිධ වර්ණයෙන් යුත් වීදුරු පබළු රාශියක් එම උඳුන් ස්ථාපිත ව ඇති ප‍්‍රදේශය පුරා දැකගත හැකි බව ය. එසේම ඉතා විශාල ප‍්‍රමාණයේ උඳුන් 15කට වැඩි ප‍්‍රාමාණයක් ගිරිබාවේ ඇති බව ගම් වැසියන් ප‍්‍රකාශ කළ ද අප හට නිරීක්‍ෂණය වූයේ විශාල උඳුන් දෙකක් පමණි. ඒවා ද පුරාවස්තු විනාශ කරන්නන් විසින් දැඩි විනාශයකට ලක් කර තිබේ. කෙසේ වෙතත් ගිරිබාව උඳුන් පිහිටි භූමියේ ඇති උඳුන්වල බිතිතිවල ඇලී ඇති වීදුරු අනුව නිල්, දුඔුරු හා කහ වර්ණ වීදුරු ඒවායේ නිර්මාණය කර ඇති බව නිෂ්චිත ලෙස ම ප‍්‍රකාශ කළ හැකි ය. අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත කැනීමේ දී හමු වූ පබළු අතර වීදුරු නිර්මාණයට යොදාගත් උඳුන මෙන් ම කැනීමේ දී හමු වූ වීදුරු පබළු නිර්මාණයට යොදාගත් නළ කොටස්, පෙති කිරීමට පෙර ඝණ වූ පබළු කොටස් මෙන් ම නිර්මාණය කරන ලද පබළු හමු වන බැවින් ගිරිබාවේ භාවිත ක‍්‍රමයට ම අන්දරවැව ප‍්‍රදේශයේ පබළු නිර්මාණය කරන්නට ඇති බව උපකල්පනය කළ හැකි ය. ගිරිබාව පබළු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජේම්ස් ලැන්ක්ටන් පෙන්වා දි ඇත්තේ ඔහුගේ විශ්ලේෂණවලට අනුව ගිරිබාව පබළුවල පොටෑසියම් (Potassium), ඇලුමිනා (Alumina), ලයිම් (Lime), යුරේනියම් (Uranium) යන රසායනික අන්තර්ගත වී තිබෙන බව ය (ibid:6). මෙම පබළු වර්ණ ගැන්විම සඳහා ඔක්සයිඩ් වර්ග භාවිත කර ඇති බව ද ඔහු පැහැදිලි කර තිබේ (ibid). ගිරිබාව වීදුරුවලට සමාන වීදුරු මාන්තායි, කුච්චවේලි හා දකුණු ඉංදියාවේ මනිකෝලායිවලින් ද වාර්තා වන බැවින් මෙම ගිරිබාවේ නිෂ්පාදිත පබළු ලංකාව ඇතුළත මෙන් ම දකුණු ඉන්දියාව දක්වා ව්‍යාප්තව තිබූ බව ඉන් පැහැදිලි වන බව ඔහුගේ නිගමනය වී තිබේ (ibid). එසේ ම කුච්චවේලි පබළු සමඟ ඔහු සිදුකළ සන්සන්දනාත්මක අධ්‍යයන තුළින් මේවා කි‍්‍රස්තු වර්ෂ 1-3 කාලයට අයත් වන බව ඔහු සාපේක්‍ෂ ලෙස නිගමනය කර තිබේ (ibid). ගිරිබාව ප‍්‍රදේශයේ දක්නට ලැබෙන උඳුනට සමාන ලක්‍ෂණ සහිත උඳුනක් අන්දරවැව ප‍්‍රදේශයෙන් වාර්තා වන බැවින් පුරාණයේ දී මෙම ප‍්‍රදේශ දෙක තුළ ම පබළු කර්මාන්තය ව්‍යාප්තව තිබූ බව පැහැදිලි වේ. බොහෝ විට මෙම නිෂ්පාදන තත්ත්වයන් පූර්ව ඓතිහිසික යුගය තුළ ආරම්භ වීමට වැඩි ඉඩකඩක් පවතින බව අන්දරවැව සුසානයෙන් හමුවන දුඔුරු පැහැ වීදුරු පබළු අනුව පෙන්වාදිය හැකි ය.


ඉන්දීය පුරාවිද්‍යාඥයින් පෙන්වා දී ඇති ආකාරයට වීදුරු පබළු නිර්මාණයේ දී භාවිත කරන තාක්ෂණික අවස්ථා රැසක් හඳුනාගත හැකි ය (Lal 1958:142). පබළු නිර්මාණය සඳහා වීදුරු සකස් කිරීම සංකීර්ණ කාර්යයකි. ඒ සඳහා ප‍්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස සිලිකා යොදා ගන්නා අතර එයට ශාක පිළිස්සූ අළු මිශ‍්‍රකර උණු කිරීම සිදු කරයි. වීදුරු වර්ණ ගැන්වීමේ දී තඹ ඔක්සයිඩ (Copper Oxide) භාවිත කීරීම ද කැපී පෙනේ. විවිධ වර්ණයන් ලබා ගැනිමේ දී ඔක්සයිඩ වර්ග මිශ‍්‍ර කිරීම සිදු කර ඇත. නිල් කහ කොළ වර්ණ සඳහා – යකඩ ඔක්සයිඩ ද රතු හා තැඹිලි වර්ණ සඳහා – තඹ හා ඊයම් ඔක්සයිඩ, මැංගනීස් ද භාවිත කර ඇති අතර පැහැදිලි වීදුරු නිෂ්පාදනයට මැග්නීසියම් ඔක්සයිඩ භාවිත කර තිබේ (මල්කාන්ති 2008:9, Dikshit 1952:58, Francis 1987:12-17, Kumar 2001:100-104). අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත ව හමු වූ සාධක අතර වීදුරු පබළු නිර්මාණය කිරීම සම්බන්ධ පියවර කිහිපයක් ද කැනීමෙන් හමු වූ පබළු අනුව හඳුනාගත හැකි ය. එම පියවර අතර වීදුරු උණු කිරීමෙන් අනතුරු ව සිසිල් වූ ශේෂ වූ කැබලි (Glass Pieces), උණු වීදුරුවලින් ඇඳගන්නා ලද නල ශේෂ (Glass tubes), අඳින ලද නල මඟින් පබළුවේ අවශ්‍ය ප‍්‍රමාණයට කපා ගත් පෙති කැබලි (Glass tube slice) හා නිමි පබළු පෙන්වා දිය හැකි ය. උතුරු මැද හා වයඔ පලාත ආශ‍්‍රිත ව වීදුරු පබළු නිර්මාණය සම්බන්ධයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව ශ‍්‍රී ලංකාවේ වීදුරු පබළු නිර්මාණයේ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව 800 තරම් පැරණි වන බව හඳුනාගත හැකි අතර එමඟින් එවක ජීවත් වූ මෙරට වැසියන් පබළු වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය රසායන විද්‍යාව පිළිබඳ ව මැනවින් අවබෝධ කරගෙන සිටි බව ද මින් තහවුරු වේ. අන්දරවැව ක්‍ෂේත‍්‍ර විමර්ශනවල දී හමු වූ උදුනට අයත් වීදුරු කොටසක් ජපානයේ ෂිමානේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉෂිගා හා කොළඔ විශ්වවිද්‍යාලයේ සැන්ස්ෆිකා යං විසින් විශ්ලේෂණයට ලක්කරන ලද අතර එම විශ්ලේෂණයට අනුව උඳුනේ පිටත බිත්තියේ පමණක් උණු කරන ලද වීදුරු කොටස් ඇලී ඇති අතර උඳුන අභ්‍යන්තර කොටස්වල ඒවා දැකගත නොහැකි ය. මෙම විශ්ලේෂණයට අනුව මෙහි නිෂ්පාදනය කර ඇති වීදුරු කෘත‍්‍රිම ඒවා වන බවත් පැහැදිලි වී තිබේ. මෙම උඳුන් බිත්තිය සම්බන්ධයෙන් සිදු කරන ලද XRF (X-Ray Fluorescence) පරීක්ෂණ ප‍්‍රතිඵල මත පැහැදිලි වන්නේ සුදු පැහැති බිත්ති කොටසේ ඊයම් [pb (Lead)] හා තඹ [Cu (Copper)] ඉහළ අගයක් ගන්නා බවයි. ඒසේ ම ෆ්ලූඔරයිඞ් [F– (Fluoride)] බ්‍රෝමින් [Br (Bromine)] අයඩීන් [I (Iodine)] සමාන ලෙස සුදුපැහැ වීදුරුවල හා දුඹුරු පැහැ වීදුරුවල අන්තර්ගත වී තිබේ. මෙම වීදුරු නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී වැලි භාවිත කර තිබෙන අතර ඊයම් [pb (Lead)] හා තඹ [Cu (Copper)] ඉහළ මට්ටමින් යුරෝපා මහද්වීපය තුළ ද භාවිත කර ඇත. ගිරිබාව නීරාවිය හා අන්දරවැව එතරම් දුරකින් පිහිටන භූමි නොවේ. එම නිසා වීදුරු නිෂ්පාදන සම්බන්ධයෙන් සමානතාවන් මෙම ස්ථාන දෙක ඇසුරින් තිබීමට බොහෝ අවකාශ තිබෙන බව මෙමඟින් ද පැහැදිලි වේ.
අන්දරවැව හා තදාශ‍්‍රිත කලාපයේ ලෝහ භාවිතය
අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත කැනීම් තුළින් හමුවන භෞතික සංස්කෘතික තොරතුරු අතර ලෝහ නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ තොරතුරු වාර්තා වීම ද කැපී පෙනේ. ඒ අතර යකඩවලින් නිර්මාණය කරන ලද තල දෙකක් (Iron chesels) වාර්තා වී තිබෙන අතර ම සුසානයට තදාශ‍්‍රිත කලාපයේ ස්ථාන කිහිපයකින් ලෝහ බොර (Slag) වාර්තා වී තිබේ. මෙම භෞතික සංස්කෘතික තොරතුරුවල තත්ත්වය වඩා නිවැරදි කරගනු වස් ඇතුළුපුර කාලනිර්ණ වෙත අවධානය යොමු කිරීමේ දී AG 69 ගෙඩිගේ කැනීමේ 3 A ස්තරයෙන් තඹ බොර (Copper Slag), ඇණ (Nail), පිහිතල (Knife blade) ආදිය හමු වීම (Deraniyagala 1972:145-152) අනුව මෙම පලාත් දෙක තුළ සම කාලීන යුගයේ දී ලෝහ භාවිතය ආරම්භ වන්නට ඇති බව උපකල්පනය කළ හැකි ය. ලංකාවේ ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් වඩා පුළුල් ලෙස සළකා බැලීමේ දී අර්ධද්වීපික ඉන්දීය මෙගලතික සමූහයන් සමඟ සම්බන්ධතා තිබෙන බව දැරණියගල හා සෙනවිරත්න පෙන්වා දී ඇත (Deraniyagala 1972:155, Seneviratne 1984:272). ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියේ භාවිත කර තිබෙන ලෝහ සම්පත් අතර හෙමටයිට් (Fe2O3 – Hematite) හා ලිමොනයිට් (Fe2O3H2O – Limonite) මෙන් ම මැග්නයිට් (Fe3O4 – Magnetite) ප‍්‍රධාන වේ (Seneviratne 1992:3). මෙම අමුද්‍රව්‍ය අතර හෙමටයිට් හා ලිමොනයිට් ශ‍්‍රී ලංකාවේ උතුරුමැද පලාතේ හා වයඹ පලාතේ දී පොළොව මතුපිටින් හඳුනාගත හැකි බව පර්යේෂණවල දී තහවුරු වී තිබේ (Seneviratne 1984:272). ක‍්‍රිස්තු පූර්ව 1000 – 800 අතර කාලයේ විශේෂයෙන් ම අර්ධද්වීපික ඉන්දියාවෙන් හඳුන්වා දුන් තාක්ෂණික මාධ්‍යයක් වූ ලෝහ තාක්ෂණය උතුරුමැද හා වයඔ පලාතේ, අනුරාධපුර ඇතුළුපුර, යාන්ඔය නිම්නය, ඉබ්බන්කටුව, අන්දරවැව, පිංවැව ගල් සොහොන්කනත්ත, පොල්පිතිගම ආදී ප‍්‍රදේශවල පරිහරණය වූ බව මේ වන විට හඳුනාගෙන ඇත (Seneviratne 1984:273, 1995:19). වඩා පුළුල් ලෙස ගත් කළ ශ‍්‍රී ලංකාව පුරාම පූර්ව ඓතිහාසික අවධිය තුළ දී ලෝහ පරිහරණය සීඝ‍්‍ර ලෙස සිදු වී තිබේ. අනුරාධපුර ඇතුළුපුරයේ මෙන් ම ඉන් පර්යන්ත ප‍්‍රදේශ තුළ ද ලෝහ සම්පත් පරිහරණය වූ බවට හඳුනාගෙන ඇති සාධක අනුව කේන්ද්‍රීය ප‍්‍රදේශය ලෙස ඇතුළුපුරයේ පැවති තත්ත්වයන්ට යම් ගාමක බලයක් ඉන් පරිබාහිරව පැවති පර්යන්ත ප‍්‍රදේශවල ස්ථානගත වූ පූර්ව ඓතිහාසික ස්ථාන ආශ‍්‍රිත කාර්මික ස්ථානවලින් ලැබෙන්නට ඇති බව අන්දරවැව, පොල්පිතිගම හා පිංවැව ආශි‍්‍රත ප‍්‍රදේශවලින් හමුවන සාධකවලින් ද පැහැදිලි වේ.
ක‍්‍රිස්තු පූර්ව 500-600 කාලය වන විට අන්දරවැව ප‍්‍රදේශය හා එහි තදාශ‍්‍රිත කලාපය හා බද්ධ ව තිබූ තාක්ෂණ ශිල්පය, යැපුම් රටාව හා සම්පත් පරිහරණය යන කාරණාවල කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබූ බව දැනට සිදුකර තිබෙන පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ප‍්‍රාථමික යකඩ යුගය තුළ තාක්ෂණික වශයෙන් ලෝහ තාක්ෂණයේ කැපීපෙනෙන වර්ධනයක් මෙම කාලවකවානුවේ දී හඳුනාගත හැකි ය. මෙම තත්ත්වය ඉන්දීය ප‍්‍රාථමික යකඩ යුගය තුළ ද පොදු කරුණක් වී තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ අවධියට සම්බන්ධ ව භාවිත කර ඇති ලෝහ උපකරණ මඟින් ලෝහ තාක්ෂණයේ වර්ධනය හඳුනාගෙන තිබේ (Begley 1981:77-78, Dearaniyagala 1972:152, Seneviratne 1984:272). හැඩගැසෙමින් පවතින සමාජ ලෝහ තාක්ෂණය උපයෝගී කරගනු ලබන්නේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික තත්ත්ව අනුව විය හැකි ය. ලෝහ මෙවලම් අනෙකුත් මෙවලම් වර්ගවලට වඩා ශක්තිමත්, දැඩි තියුණු හා කැපීම්වලට ඔරොත්තු දෙන මෙවලම් වර්ගයකි (Seneviratne 1995:13).
ප‍්‍රාථමික යකඩ යුගයේ සංස්කෘතියට අවතීර්ණ වන අන්දරවැව ප‍්‍රදේශයේ ජීවත් වූ මිනිසා ක‍්‍රමානුකූල ව ලෝහ තාක්ෂණයේ දියුණුව කරා ළඟා වීම ක‍්‍රිස්තු පූර්ව 600-500 කාලය අතර සිදු වූ බව සුසානය ආසන්නයෙන් හමු වූ ලෝහ උණු කිරීමට භාවිත කර තිබෙන විශාල ප‍්‍රමාණයක් ලෝහ බොර අන්දරවැව තදාශ‍්‍රිත ප‍්‍රදේශයේ ස්ථාන ගණනාවකින් ලැබෙන බැවින් ඒ බව තහවුරු වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික යකඩ යුගය ලෝහ තාක්ෂණයේ සමාරම්භක අවධිය වශයෙන් හඳුනාගත හැකි වුව ද (Seneviratne 1995:134-136, මැන්දිස් 2000:26) ක‍්‍රිස්තු පූර්ව 1000න් පසු ශ‍්‍රී ලංකාවට ඇතුළු වූ ලෝහ තාක්ෂණය කෙටි කලකින් මුළු දිවයින පුරා පැතිර කඩිනම් සංවර්ධනයක් තාක්ෂණයේ හෝ එය පරිහරණය කරන ලද සමාජ ව්‍යුහයේ ඇති නොකළේය (Seneviratne 1984:14). තාක්ෂණයේ එවැනි රේඛීය වර්ධනයක් දැකිය නොහැකිය. එහි ගුණාත්මක බව හා ප‍්‍රාමාණික වර්ධනය තක්සේරු කළ යුත්තේ ඒ ආශ‍්‍රිත සම්පත් පරිහරණයේ උපයෝගීතාව මතත්, ලෝහ මෙවලම්වලට ඇතිවන ඉල්ලුමේ උපයෝගීතාවත් මත ය (ibid). ලෝහ භාණ්ඩයක් පරිහරණයේ දී ඇතිවන ඉල්ලුමට අවශ්‍ය බිහිකිරීම සඳහා සමාජ ව්‍යුහයන් ලබා ඇති සාපේක්ෂ වර්ධනය, අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට නිමි භාණ්ඩය දක්වා වූ නිෂ්පාදන ව්‍යවසාය පරාසයයක් තුළ රඳා පවතී (එම). ඒ අනුව ශ‍්‍රී ලංකාවට ක‍්‍රිස්තු පූර්ව 1000 දී හඳුන්වා දුන් ලෝහ තාක්ෂණය හා එහි ක‍්‍රම විධි වඩා විශේෂ අන්දමකට කළඑළි බසිනු ලබන්නේ තවත් ශත වර්ෂ දෙකක් හෝ තුනක් ගතවීමෙන් පසු ව බව පෙනේ (එම). ශ‍්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණයේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක මෙන් ම බහුල වශයෙන් වැඩි උපයෝගීතාවක් ආරම්භ වන කාලය ක‍්‍රිස්තු පූර්ව 700න් පසු ව ඇතිවන බව අනුරාධපුරය හා පොම්පරිප්පු තුළින් හමු වී ඇති ලෝහ පරිහරණය සම්බන්ධ සාධක තුළින් මැනවින් තහවුරු වේ (Seneviratne 1984:272, Dearaniyagala 1992:710). ඒ බව වැඩිදුරටත් තහවුරු වන්නේ අන්දරවැව මෙගලිතික සුසානය තුළින් හමුවන උසස් මට්මේ යකඩ තල අනුව ය. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 500 පමණ කාලය වන විට අන්දරවැව ප‍්‍රදේශයේ ලෝහ තාක්‍ෂණය සම්බන්ධ වඩා උසස් මට්ටමේ තොරතුරු හඳුනාගත හැකි බැවින් ලෝහ තාක්ෂණයේ ගුණාත්මක බව ඇතිව තිබූ බව ඒ අනුව පෙන්වා දිය හැකි ය. අන්දරවැව ප‍්‍රදේශයෙන් හමුවන ලෝහ තලවලට සමාන ලෝහ තල උතුරුමැද පලාතට අයත් වාහල්කඩ පූර්ව ඓතිහාසික සුසානයෙන් හා ඉබ්බන්කටුවෙන් ද වාර්තා වී තිබේ.
වයඔ පලාත තුළ ප‍්‍රාථමික යකඩ යුගයේ ජනාවාස විශාල ප‍්‍රමාණයක් ස්ථානගත වීම සඳහා ස්වභාවික පරිසරය ද බලපා ඇත. මෙම පළාතේ ස්වභාවික පරිසරය, ඛනිජ සම්පත් හා ස්වාභාවික ඉන්ධන ව්‍යාප්තිය වඩා ඍජු ලෙස පැරණි යකඩ කර්මාන්තයට බලපා තිබේ. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස හා ජීවනෝපාය ක‍්‍රමය වඩාත් සමීප වූයේ වියළි හා ශුෂ්ක කලාපවලට ය (Seneviratne 1995:15). ශ‍්‍රී ලංකාවේ ඛනිජ ආශ‍්‍රිත සිතියමක් ගෙන හැර දැක්වුවහොත් වයඔ පලාත හා එහි තදාශ‍්‍රිත ප‍්‍රදේශය තුළ විවිධ ඛනිජ වර්ග ස්ථානගත වන බව පෙනේ. වයඔ පලාත පුරා ම පහසුවෙන් නිධිගත වී ඇති යපස් හා තෙල්ගල් පුළුල් ව්‍යාප්තියක් ගෙනහැර දක්වයි (ibid). මේවා අතරින් විලගෙදර පනිරෙන්ඩාව ආශ‍්‍රිත ව නිධිගත වී ඇති මැග්නටයිට් යපස් නිධිය තුළ ටොන් හයකට වඩා වැඩි යපස් තැන්පත් ව තිබෙන බව මේ වන විට ගණන් බලා ඇත. මෑත දී සිදු කරන ලද භූ ගර්භ විද්‍යා හා පුරාවිද්‍යා සමික්ෂණ අනුව ශ‍්‍රී ලංකාවේ තඹ නිධිගත වී ඇති තවත් ප‍්‍රදේශ ලෙස සේරුවිල හා මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුමේ පිහිටි නාලන්ද ප‍්‍රදේශය හා විලගෙදර පණිරෙන්ඩාව හඳුනාගෙන ඇත (Seneviratne 1995:114-138). වයඔ පලාතේ ලෝහ නිෂ්පාදනය ආශ‍්‍රිත ලෝහ කර්මාන්තය තාක්ෂණික ලෙස දියුණුවට පත් වු බවට සාධක අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත ව හමුවන මෙම ලෝහ මෙවලම් හා එම සුසාන භූමියට ආසන්නයෙන් ලැබෙන මහා පරිමාණ ලෙස ලෝහ නිෂ්පාදනය කළ බවට හඳුනාගත හැකි ස්ථාන ආශ‍්‍රිතව දක්නට ලැබෙන ලෝහ බොර අනුව ද පෙන්වාදිය හැකි ය.




ආශ්රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය
- මල්කාන්ති, නාලනී (2008), පබළු නිර්මාණයේ අතීත විත්ති, ජේතවනාරාම පුරාවිද්‍යා ග‍්‍රන්ථමාලා අංක 3, සංස්. සුදර්ශන් සෙනෙවිරත්න සහ පියතිස්ස සේනානායක, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, කොළඹ.
- මැන්දිස්, තුසිත (2008), ජේතවන සුද්දගේ වත්ත පර්යේෂණ පුරාවිද්‍යා කැණීම, 37-51, ජේතවනාරාම ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2000, සංස්. සුදර්ශන් සෙනෙවිරත්න සහ පියතිස්ස සේනානායක, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, කොළඹ,
- මැන්දිස්, තුසිත (2016), පබළු වර්ගීකරණය, මධ්‍ය යාන් ඔය නිම්නයේ ජනාවාස පුරාවිද්‍යාව, 246-257, පර්යේෂණ හා ප‍්‍රකාශන අරමුදල, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
- Begly, V. (1981), Excavation of Iron Age burials at Pomparippu, 1970, Ancient Ceylon 4: 49-142, Department of Archaeology Survey, Colombo
- Deraniyagala, S.U. (1972), The Citadel of Anuradhapura: Excavation in the Gedige area, Ancient Ceylon 2;48-165, Department of Archaeology Survey, Colombo.
- Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka; An Ecological Perspective, Archaeological Survey Department, Colombo
- Dikshit, M.G. (1952), Beads from Ahichchatra U.P, Ancient India 8, 33-63. Archaeology Survey Department, India.
- Francis,P. (1987), Bead Emporiam, (a guide ti the beads from Arikamedu in the Pondicherry Museum), The Pondicherry Museum, Pondicherry.
- James, L. (2014), Glass from Sri Lanka: Preliminary Report of 2014 Analyses, Institut de Recherche surles Archéomatériaux, Centre Ernest Babelon, C.N.R.S., 3D rue de la Férollerie, F-45071 Orléans cedex 2.
- Kumar, A. (2001), Glass Beads in India; Lamp Winding and Moulding Techniques Abstract, Department of Archaeology, Deccan College.
- Lal, B.B. (1958), Examination of Rod of Glass – like Material from Arikamedu Ancient India. No 14, Archaeology Survey Department, India
- Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No.5:237-305. Archaeology Survey Department, Colombo
- Seneviratne, S. (1992), Resource use in Antiquity: The Utilization of Minerals, Water Flora and funa in Pre Modern Sri Lanka School Science program, Institute of Fundamental Studies.
- Seneviratne, S. (1995), The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North- East Sri Lanka, Sri Lanka Journal of Humanities. Vol. xxi (1&2):114-146, University of Peradeniya.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.02.01 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
පුරාවිද්‍යා කැනීමක් සැළසුම් කිරීමේ දී අවධානය යොමුකළ යුතු අංශ
ඩි. තුසිත මැන්දිස්
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
පුරාවිද්‍යා අධ්‍යක‍්ෂ, අනුරාධපුර තදාශ්‍රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල.


පුරාවිද්යා කැනීමක් යනු විනාශකාරි ක්‍රියාවකි․ කැනීමක් සිදු කිරීමෙන් අනතුරුව එම භූමිය තුළ වන තැන්පතුව සම්පූර්ණ වශයෙන්ම ඉවත් වන බැවින් කුමන අයුරකින් හෝ එම භූමිය නැවත ප්‍රතිනිර්මාණය කිරිමට හැකියාවක් නොමැත․ එම නිසා පුරාවිද්‍යා කැනීමක් විනාශකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය․ පුරාවිද්‍යා කැනීමකින් සිදුවන මෙම විනාශය අවම කරගැනීම සඳහා පුරාවිද්‍යා කැනීමක් මැනවින් සංවිධානය කිරිම සිදුකළ යුතු අතර ඒ සඳහා පුරාවිද්‍යාඥයා විසින් විධිමත් සැලසුමක් සකසා ගත යුතු වේ․ විශේෂයෙන්ම පුරාවිද්‍යා කැනීම් කටයුතු සංවිධානය කිරීමේ දී ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන බැවින් ඒ සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කළ යුතුය. පිරිවැය ඇස්තමේන්තුවක් සැකසීමේ දී අවධානය යොමු කළ යුත්තේ කැනීම් ක්‍රියාවලියම ආවරණය වන ලෙසය․එහි දී,
- කැනීම් කටයුතු අරම්භ කිරීමට පෙර භූමිය ගවේෂණය කිරීම
- කැනීම් භූමිය සකස් කරගැනීම
- කැනීම් කටයුතු
- මානව කෘති වර්ගීකරණය හා විශ්ලේෂණ කටයුතු
- පුරාවිද්‍යා කැනීම් වාර්තාව සකස් කිරීම හා මුද්‍රණය
යන ප්‍රධාන මාතෘකා යටතේ පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කර මුදල් වෙන් කරගත යුතුය․ මෙසේ පිරිවැය ඇස්තමේන්තුව අනුමත කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා කැනීමක් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සුදුසු භූමියක් තෝරාගැනීම වැදගත් වන අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් ගවේෂණයක් සිදුකළ යුතු වේ․ එම ගවේෂණය භූමිය මතුපිට හෝ භූමිය අභ්‍යන්තරය පරීක‍්ෂා කිරීමේ ගවේෂණයක් විය හැකි අතර කැනීම්කරුවා විසින් ඇස්තමේන්තුව සැකසීමේ දී තමා සිදු කිරීමට බලාපොරොත්තු වන ගවේෂණය කුමක් ද යන්න හා ඒ සඳහා භාවිත කරන ක්‍රමවේද හා උපකරණ තීරණය කර ඒ අනුව පිරිවැය ඇස්තමේන්තුවට ඇතුළු කර තිබිය යුතු වේ. තෝරාගන්නා ගවේෂණය අනුව භූමිය පරීකෂා කර බලා එහි සුදුසු ස්ථානයක් කැනීම් සඳහා තෝරාගත යුතු වේ․ එය ඉතා වැදගත් වන්නේ යම් හෙයකින් භූමිය පරීක‍්ෂා කිරීමෙන් තොරව පුරාවිද්‍යා කැනීම්ක් ආරම්භ කර ඉන් නිසි දත්ත ලබාගැනීමට අපොහොසත් උවහොත් කැනීම් කටයුතු සඳහා වෙන් කරන ලද මුදල සම්පූර්ණයෙන්ම අපතේ යාමක් සිදු වී ප්‍රථීළුල රහිත කාර්යක් වන බැවිනි․ එම නිසා කැනීමක් සංවිධානයේ දී මේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ․
වඩා විධිමත්ව සිදු කරන ගවේෂණයෙන් අනතුරුව තෝරාගන්නා ලද භූමිය පුරාවිද්‍යා කැනීමක් සඳහා සකස් කරගැනීම මෙහි මීලඟ අදියර වේ. කැනීම් භූමිය සකස් කරගැනීමේ දී ඒ සඳහා ඩම්පි ලෙවලය (Dumpy Level), තියොඩොලයිටය (Theodolite), ජී.පී.එස්. (G. P. S)‚ මාළිමාව (Compass) වැනි උපකරණ අවශ්‍ය වන අතර එම උපකරණ භාවිත කර පුරාවිද්‍යා කැනීම් සඳහා පරිශ්‍රය, කොටුදැල් හෝ කාර්තු සකස් කරගැනීම සිදුකළ යුතුය․
මේ ආකාරයට භූමිය සකස් කර ගැනීමෙන් අනතුරුව පුරාවිද්‍යා කැනීම් කටයුතුවල දී මීළඟට අවධානය යොමුකළ යුතු වන්නේ කැනීම් ක්‍රමවේදය පිළිබඳවය․ පුරාවිද්‍යා කැනීමක් සිදු කිරීමේ දී ලොව පිළිගත් කැනීම් ක්‍රමවේද වන සිරස් කැනීම් ක්‍රමය (Vertical Excavation Method) හෝ තිරස් කැනීම් ක්‍රවේදය (Horizontal Excavation Method) (Renfrew & Bhan 1991, McIntosh 1992, Joukowsky 1997, Rajan 2002, බස්නායක සහ හෙට්ටිගේ 1992, ලෙස්ලි සහ රෝයි ඇඩ්කින්ස් 1997, මැන්දිස් සහ විතානාච්චි 2015) යන පුරාවිද්‍යා කැනීම් කටයුතු සඳහා භාවිත කරන ක්‍රමවේද දෙකින් සුදුසු ක්‍රමය තෝරා ගැනීම වැදගත් වේ.
මෙහි දී කැනීම්කරුවා විසින් යථෝක්ත ක්‍රමවේද දෙක පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ සිරස් කැනීමක් සිදු කිරීමේ දී ස්තර අධ්‍යයනය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන බැවින් එවන් කැනීමක් බොහෝ විට මතුපිට පොළව මට්මේ සිට මව් පාෂාණය දක්වා (Bedrock) දක්වා සිදු වේ․ එසේම ඒ සඳහා තරමක් දිඟු කාලයක් වැයවන අතර කැනීම් සිදු කරන භූමිය ද සීමා සහිත භූමියක් එනම් මීටර් 3×3, 4×4, 5×5 හෝ ඊට මදක් විශාල භූමි වේ․ අනුරාධපුර ඇතුළුපුරයේ සිරාන් දැරණියගල සිදුකර ඇති AG 69 හා AG 85, ASW 88, AMP 89 ආදී පුරාවිද්‍යා කැනීම් මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය․


තිරස් පුරාවිද්‍යා කැනීමක් සිදු කිරීමට භූමිය තෝරාගැනීමේ දී තරමක් විශාල භූමියක් තෝරාගත යුතු අතර එමඟින් බලාපොරොත්තු වන්නේ යථෝක්ත භූමියේ ඇති එක් අධියකට හෝ එක් අවකාශයකට අයත් සංස්කෘතික දත්ත මතුකර ගැනීමට අදහස් කිරිමය․ එසේම තිරස් පුරාවිද්‍යා කැනීමකදී භූමිය ව්‍යාප්ත වෙමින් කැනීම් සිදු කිරීම සිදු වේ․ මේ සඳහා උදාහරණ වශයෙන් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති මඟින් අනුරාධපුර ෙජ්තවනය, අභයගිරි, සීගිරිය හා පොලොන්නරුව යන ස්ථාන තුළ සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම් පෙන්වාදිය හැකිය․ මේ මඟින් එක් අවධියකට අයත් සංසකෘතික තොරතුරු මතුකර තිබේ․


ක්‍රමවේදය තෝරාගැනීමෙන් අනතුරුව කැනීම් ආරම්භ කළ යුතු අතර කැනීම් ආරම්භ කිරීමේ දී භූමියේ පස් ඉවත් කිරීම සඳහා ලොව පිළිගත් පස් ඉවත් කිරීමේ ක්‍රමවේද වන ස්තර ක්‍රමය (Layer System), ප්ලානම් ක්‍රමය (Plenum System), සංසිද්ධි අංක යෙදීමේ ක්‍රමය (Context System) යන ක්‍රමවලින් සුදුසු ක්‍රමවේදයක් කැනීමේ පස් ඉවත් කිරීමට භාවිත කිරීම වැදගත් වේ․ පස් ඉවත් කිරිමේ දී සැළකිය යුතු කාරණයක් වන්නේ කැනීම වාර්තාගත කිරිමය. වාර්තාගත කිරීමේ දී සැලසුම්, (Ground Plan, Cross Section, Section Drawing) මඟින් වාර්තාගත කිරීම, ඡායාරූපකරණය (Photography) මඟින් වාර්තාගත කිරීම, වීඩියෝගතකරණය (Videography) මඟින් වාර්තාගත කිරීම මෙන්ම ලිඛිත වාර්තාගත කිරිම (Report writing) ආදී ක්‍රමවේදවලින් කැනීම ආරම්භයේ සිට අවසානය දක්වා වාර්තාගත කළ යුතුය․ එසේම කැනීම් අතරතුර ස්තර ඇසුරින් කාලනීර්ණ සඳහා මෙන්ම විශ්ලේෂණ කටයුතු සඳහා නියැදි (Sample) ලබාගැනීම ද ඒවා ලබාගන්නා නිශ්චිත ස්ථාන නියමිත ලෙස වාර්තාගත කිරීම ද වැදගත් වේ. කැනීමක් විනාශකාරී ක්‍රීයාවක් වන බැවින් එම විනාශය අවම කරගැනීම සඳහා මෙම වාර්තාගත කිරීම වැදගත් වන අතර මෙම වාර්තාගත කිරීම කැනීම අවසානයේ වාර්තාව පිළියෙල කිරීමට ද මහෝපාකාරී වේ. එම නිසා පුරාවිද්‍යා කැනීමක දී වාර්තාගතකරණය යනු, අත්‍යවශ්‍යම අංගයක් වේ․
කැනීමක දී පස් ඉවත් කිරීම ආරම්භ කිරිම සමඟම විවිධ ස්තර තුළින් මානව කෘති (Artifact) හා ස්වාභාවික කෘති (Eco Fact) හමුවීම සිදු වේ․ ඒවා ද විධිමත් ලෙස වාර්තාගත කිරිම ද කැනීම්කරුවාගේ වගකීමක් වන අතර මානව කෘති හා ස්වාභාවික කෘති වාර්තාගත කිරිමේ දී X, Y හා Z මිණුම් භාවිත කිරීම මෙන්ම ඡායාරූප මඟින් වාර්තාගත කිරීම හා පුරාවස්තු වාර්තාකරණ කාඩ්පත් (Finding Card) භාවිත කිරීම ද සිදුකළ යුතු වේ․ කැනීමක් අවසානයේ දී විශාල ප්‍රමාණයක් මානව කෘති හා ස්වාභාවික කෘති එකතු වන බැවින් ඒවා විධිමත් ලෙස වාර්තාගත නොවුන හොත් කැනීම අවසානයේ ඒවා වාර්තා වූ ස්ථාන හා ස්තර නිසි ලෙස හඳුනාගැනීමට අවකාශ නොලැබේ․ එබැවින් කැනීමක දී හමුවන මානව කෘති හා ස්වාභාවික කෘති ඒවා හමුවන අවස්ථාවේදී ම නිසි ලෙස වාර්තා කිරීම අතිශය වැදගත් වන්නේ ඒවා අර්ථනිරූපනයේ දී කුමන සන්දර්භයකට අයත් දැයි විශ්ලේෂණයේ දී නිෂ්චිත කළ හැකි බැවිනි ․
මෙසේ හමුවන මානව කෘති හා ස්වාභාවික කෘති කැනීම් පරිශ්‍රයෙන් ඉවත් කිරීමෙන් පසුව ද පුරාවස්තු ලියාපදිංචි ලේඛනයේ ලියාපදිංචි කරන තුරු ඒ සම්බන්ධ පුර්ණ වගකීම ද කැනීම්කරුවා සතු වේ․ කැනීම් පරිශයෙන් ඉවත් කරන මානව කෘති හෝ ස්වාභාවික කෘති අනතුරුව ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය․ මානව කෘතියක් හා ස්වාභාවික කෘතියක් ප්‍රධාන පුරාවස්තු ලේඛනයේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර ප්‍රධාන පුරාවස්තු ලියාපදිංචි ලේඛනයේ ලියාපදිංචි කිරිමේන් අනතුරුව අදාළ මානව කෘතියට හෝ ස්වාභාවික කෘතියට අනන්‍ය අංකයක් ලබාදීම සිදු වේ. එම අංකය ඉන් අනතුරුව අදාළ මානව කෘතිය හෝ ස්වාභාවික කෘතිය විශ්ලේෂණ කටයුතුවල දී මෙන්ම අවසන් වාර්තාවට ඇතුළුකරන වර්ගීකරණ කටයුතුවල දී වගුවලට ඇතුළු කිරීම සඳහා ද යම් හෙයකින් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස කෞතුකාගාරයකට ලබා දීමේ දී ද වැදගත් වේ. මේ ආකාරයට සිදුකරණ පුරාවිද්‍යා කැනීමක දී එය මෙහෙයවන කැනීම්කරුවා ඉහත සඳහන් කාරණා කෙරෙහි අවධානය යොමු කිරිම මෙන් කැනීම් වැඩබිම තුළ සේවය කරන විවිධ මට්ටම්වල කාර්යමණ්ඩලය ද කළමනාකරණය කිරීම අතිශය වැදගත් වන අතර එම කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා කැනීම් භූමියක ක්‍රියාත්මක ආචාරධර්ම පද්ධතියට අනුගතව සේවය කිරීම සඳහා ද කාර්යමණ්ඩල සාමාජිකයා පෙළඹීම ද ඔහු සතු කාර්යක් වේ. එම නිසා පුරාවිද්‍යා කැනීම් භූමියක කාර්යමණ්ඩල සාමාජිකයින් සම්බන්ධ ආචාරධර්ම පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුමක් ඔහු සතුවිය යුතුය․


පුරාවිද්යා කැණීම් කටයුතු අවසන් වීමෙන් අනතුරුව මින් පසු ආරම්භ වන්නේ මානව කෘති හා ස්වභාවික කෘති වර්ගීකරණය හා විශ්ලේෂණ කටයුතුය․ එහි දී මානව කෘති වර්ග කිරීමේ දී ඒවා නිෂ්පාදනය කර ඇති මධ්‍ය අනුව වර්ග කිරීම සිදු කරන අතර වර්ගීකරණය සිදු කිරීමේ දී ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් විවිධ වර්ගීකරණ සටහන් – Typology භාවිත කිරීම සිදු කිරීම තුළින් විෂය පිළිබඳ අන්තර්ගත පොදු සම්මතයන් ආරකෂා කර ගැනීමට ද එහි ගුණාත්මකභාවය රැකගැනීමට ද මහෝපාකාරී වේ․ වර්ගීකරණ කටයුතුවලට සාමගාමීව විශ්ලේෂණ කටයුතු සිදුකළ හැකි අතර විශ්ලේෂණ කටයුතු විද්‍යාගාර තූළ සිදුවන විද්‍යාත්මක කාර්යක් බැවින් එම කටයුතුවලදී අදාළ විශේෂඥයින්ගේ සහයෝගය ඇතිව එම කටයුතු සිදු කිරීමට ද උනන්දු විය යුතුය․ එමඟින් දත්තවල නිවරැදිතාවය ද ආරකෂා කර ගැනීමට එය ඉවහල් වේ.




මේ ආකාරයට කැනීමකින් හමු වූ මානව කෘති වර්ගීකරණ කටයුතු හා විශ්ලේෂණ කටයුතුවලින් අනතුරුව අවසන් වාර්තාව පිළියෙළ කිරිම සිදු කරන ලැබේ. එම වාර්තාව මුද්‍රණය කිරීමේන් අනතුරුව පුරාවිද්‍යා කැනීම සිදු කරන ලද භූමියට වූ විනාශය අවම කර එහි ප්‍රථීළුලය එළිදැක්වෙන අතර පුරාවිද්‍යා ක්ෂේත්‍ර ක්‍රියාවලියක දී මෙවැනි මාර්ගෝපදේශ පිළිබඳව පුරාවිද්‍යාඥයා හා කාර්යමණ්ඩල සාමාජිකයා දැනුවත් විය යුතුය ․
ආශ්‍රිත ග්‍රන්ථ
- බස්නායක එච්․ටී․, යූ․ හෙට්ටිගේ․, 1992 පුරාවිද්‍යා ප්‍රවේශය
- ලෙස්ලි සහ රෝයි ඇඩ්කින්ස්․, 1997, පුරාවිද්‍යා විධිනියම
- මැන්දිස් ඩී․ටී․සී․ආර්․විතානාච්චි․, 2015, පුරාවිද්‍යා ගවේෂණ කැණීම් හා කාලනීර්ණ ක්‍රම
- Joukowsky, M., 1997, A complete manual of Field Archaeology
- Renfrew, C., P. Bahn., 1991, Archaeology Theories, Methods, Practice.
- McIntosh, J., 1992, The Practical Archaeologist
- Rajan, K., 2002, Archaeology Principles and Methods
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.01.24 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------