Home Blog Page 9

38. ලංකාවේ ලෝක උරුම

ලංකාවේ පුරාවිද්යාව තුළත් කතාබහට ලක්වෙන අපේ ආර්ථිකය එක්කත් බද්ධ වුණු ලෝක උරුම ගැන කතාකරන්නයි මේ සටහන. ලංකාවෙත් මේ ලෝක උරුම කීපයක්ම තියෙනවා. සමහර අය විවිධ හේතු නිසා මේ ලෝක උරුම සංකල්පයට විරුද්ධ වෙනවා. හැබැයි මේ ලෝක උරුම සංකල්පය නිසා ඒවා ඇති රටවලට විවිධ වාසිත් ලැබෙනවා. ඒ කොහොම නමුත් අපි බලමුකෝ මුලින්ම උරුමය ගැන. උරුමය කියන්නේඹ පාරම්පරිකව හිමිවචේච දෙයකට. මේ විදිහට පුද්ගලයින්ට, පවුල්වලට, ජනකොටසකට හෝ ජාතියකට අයිති උරුම තියෙන්න පුළුවන්. ඒ වගේම මනුෂ්ය පරජාවටම අයිති නිර්මාණයත් තියෙනවා. ලෝකෙටම වැදගත් දේවලටයි ලෝක උරුම කියන්නේ. ලෝක උරුමය සඳහා මැදිහත් වෙන්නේ යුනෙස්කෝ ආයතනය. ඒ ආයතනය උරුමය ගැන දක්වන අදහස බලමු.

පුළුල් සංකල්පයක් වූ උරුමයට ස්වාභාවික හා සංස්කෘතික පරිසරය ඇතුළත් වෙනවා. එයට භූ දර්ශනය, ඓතිහාසික ස්ථාන, ක්ෂේත්ර හා නිර්මිත පරිසරය මෙන්ම ජෛව විවිධත්වය, පුරාවස්තු එකතූන්, අතීතයේ සිට ක්රියාත්මක වන සංස්කෘතික ක්රියාකාරකම්, දැනුම හා ජීවමාන අද්දැකීම් ඇතුළු වේ. එතුළින් ඓතිහාසික සංවර්ධනය, විවිධ ප්රදේශීය, ජාතික, දේශීය අනන්යතාවන් ප්රකාශ කෙරෙන අතර එය නූතන ජීවිතය සමඟ ඒකාබද්ධව පවතී.

මේ කියමනේ හැම දේම තියෙනවා. තවත් සරළව උරුමය ගැන අපිට මෙහෙමත් කියන්න පුුවන්. ‘අතීත පරපුර විසින් නිර්මාණය කර අපේ පරපුරට හිමි වූ හා අපේ පරපුර වින්දනය කර ඉදිරි පරපුරට හිමිකර දිය යුතු යැයි සිතන දේ’ උරුමයයි. අතීතයෙන් අපිට උරුම වුණත් අපි අනාගතයට දෙන්න කැමති නැති දේට කරුමය කියන්න පුළුවන්. ඒ උරුමයේ අනිත් පැත්ත.
උරුමය තමයි වෙනත් කෙනෙක් ගාව නැති අපි ගාව විතරක් තියෙන අපේ වෙසෙසියාව නැත්නම් අනන්යතාව පෙන්වලා දෙන්නේ. උරුමය හැදුව අපේ මුතුන්මිත්තෝ් හා අප අතර සම්බන්ධතාව ඇති කරන්න පුළුවන් උරුමයටයි. අපේ අතීත කරියාකාරකම් පෙන්නන උරුමයට පුළුවන් අනාගතයට මඟ පෙන්වන්නත්. හැබැයි උරුමය කියන්නෙ වෙනස්වන සුළු ක්රියාවලියක්. අතීත වගේම දැන් ජනසමාජයන්ගේ ගතිලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් උරුමය හරහා. ස්වාභාවික හා සංස්කෘතික කියල කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් උරුමය අතින් අල්ලන්න පුළුවන් හා බැරි යන දෙවිදිහටම තියෙන්නත් පුළුවන්.
ලෝකෙටම වැදගත් කියල හිතන තැන් ලෝක උරුම විදිහට නම් කරන්නේ ‘යුනෙස්කෝ’ ආයතනයේ ලෝක උරුම කමිටුවයි. මේ ආයතනය ලෝක උරුම නම් කිරීමට ඕනකරන මිනුම්දඬු ඉදිරිපත් කරල තියෙනවා. මේ වැඩේට කාලයක් ගතවන සංකීර්ණ වැඩපිළිවෙලක් තියෙනවා. තැනක් ලෝක උරුමයක් වෙන්න ඒ මිණුම්දඬුවලින් එකක් හෝ කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිර්ණායක පහළ කෙටියෙන් දක්වලා තියෙනවා.
1. මිනිසුන්ගේ් නිර්මාණශීලි ප්රතිභාව පෙන්නන පරමාකෘතියක්
2. වාස්තුවිද්යාවේ හෝ තාක්ෂණයේ වර්ධනය, ස්මරණාත්මක කලා, නගර සැලසුම්කරණ හෝ භූ දර්ශන සැලසුම්, මිනිස් වටිනාකම්වල වැදගත් වෙනස්වීම් පෙන්නන, කාල පරාසයක් තුළ හෝ ලෝකයේ සංස්කෘතික කලාපයක් තුළ ප්රදර්ශනය කිරීම
3. අපවත් හෝ දිවිමන් ජනකායකගේ සංස්කෘතික සම්ප්රදාය හෝ ශිෂ්ටාචාරයක් ගැන සාධක් සපයන අසහාය හෝ අවම වශයෙන් අතිවිශේෂ දෙයක්
4. මිනිස් අතීතයේ කැපීපෙනෙන අවස්ථාවක් පෙන්නන කදිම නිදසුනක් විදිහට ගතහැකි ගොඩනැඟිලි, වාස්තු සහ තාක්ෂණික සමූහයන් හෝ භූ දර්ශන
5. සංස්කෘතියක් නැත්නම් සංස්කෘතින් නියෝජනය කරන සාම්ප්රදායික මිනිස් ජනාවාසයක්, භූමි හෝ මුහුදු පරිභෝජනයක් ගැන කැපීපෙනෙන නිදසුන්, හෝ නැවත හඳන්න බැරි වෙනසක බලපෑම යටතේ අවධානමට ලක් වූ පරිසරය සමඟ මිනිස් අන්තර් ක්රියාකාරිත්වය
6. සිදුවීම් හෝ ජීවමාන සම්ප්රදායන්, අදහස් සමඟ හෝ විශ්වාසයන් සමඟ කැපීපෙනෙන විශ්වීය වැදගත්කමක් ඇති කලාත්මක හා සාහිත්යාත්මක කටයුතු සමඟ කෙළින්ම හෝ ස්පර්ශනීය අයුරින් සම්බන්ධ වීම (මේ නිර්නායකය අනෙකුත් නිර්නායකයනට අනුකූලව යොදාගත යුතුයි.)
7. අතිවිශිෂ්ඨ ස්වභාවික සංසිද්ධි හෝ අතිවිශේෂ ස්වාභාවික සුන්දරත්වයක් සහිත හෝ සෞන්දර්යාත්මක වැදගත්කමක් සහිත ප්රදේශ
8. ජෛවීය වාර්තාව, භූමි ආකෘති සංවර්ධනය කිරීමේ දී අඛණ්ඩව සිදුවන භූවිද්යා ක්රියාවලින් හෝ සැලකිය යුතු භූගෝලිය හෝ භෞතික විද්යාත්මක ලක්ෂණ ඇතුළුව පෘතුවි ඉතිහාසයේ ප්රධාන අවධීන් නියෝජනය කරන කැපී පෙනෙන නිදසුන්
9. මිහිමත, මිරිදිය, වෙරළබඬ හා මුහුදු පාරිසරික පද්ධති මෙන්ම ශාක හා සත්ව ප්රජාවන්ගේ පරිණාමය හා සංවර්ධනය පිලිබඳ සැලකිය යුතු අඛණ්ඩ හා ජෛවවිද්යාත්මක ක්රියාවලින් නිරූපියත කදිම නිදසුන්
10. විද්යාත්මක හෝ සංරක්ෂණ දෘෂ්ටියකින් බලද්දි තර්ජනයට ලක් වී ඇති කදිම විශ්වීය අගයන් සහිත සත්ව විශේෂ ද ඇතුළත් ජීවවිද්යාත්මක විවිධත්වය මුල් ස්ථානයේම සංරක්ෂණය සඳහා වඩා යෝග්ය ඉතා වැදගත් හා විශේෂ ස්වභාවික වාසස්ථාන
මේ නිර්ණායක අනුව 2019 වනවිට ස්ථාන 1,121ක් ලෝක උරුම වශයෙන් ප්රකාශයට පත්කරල තියෙනවා. ඒ සංස්කෘතික උරුම 869ක්, ස්වභාවික උරුම 213ක් හා මිශර උරුම 39ක් විදිහට. මේවා රටවල් 184ක පැතිර පවතිනවා.
මේ විදිහටම අපේ තැන් අටකුත් සංස්කෘතික හා ස්වභාවික ලෝක උරුම විදිහට නම් කරල. පහළ දක්වල තියෙන්නේ ඒ තැන් අට. එයින් පළමුව තියෙන තැන් හය සංස්කෘතික උරුමස්ථාන විදිහටත් අනෙක් දෙක ස්වභාවික උරුමස්ථාන වශයෙනුත් නම් කරල තියෙන්නේ. වරහන් තුළ ඇත්තේ ඒ ස්ථානය ලෝක උරුමයක් විදිහට ප්රකාශ කළ අවුරුද්ද හා ඒ සඳහා සැපීරූ නිර්ණායක අංකයි.
1. අනුරාධපුර පූජා නගරය (1982 : II, III, VI)
2. පොළොන්නරුව ඓතිහාසික නගරය (1982 : I, III, VI)
3. සීගිරිය පැරණි නගරය (1982 : II, III, IV)
4. ගාල්ල පැරණි නගරය හා එහි ආරක්ෂිත සැලැස්ම (1988 : IV)
5. මහනුවර පූජා නගරය (1988 : IV, VI)
6. රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය (1991 : I, VI)
7. සිංහරාජ නිවර්තන වැසි වනාන්තරය (1988 : IX, X) : ස්වාභාවික පරිසරයේ ඇති විශ්ෂත්වය නිසා නම් කළ ස්ථානයකි. හෙක්ටයාර 8,864ක භූමියක් මෙයට අයත් වේ.
8. මධ්යම කඳුකර උස් භූමිය (2010 : IX, X) : කඳුකර අධි ආරක්ෂිත කලාප, මහඑළිය ජාතික උද්යානය හා දුම්බානාගල කඳු වැටිය ඇතුළු මධ්යම කඳුකරයේ දකුණු හා මැද කොටස් ඇතුළු වේ. මෙයට හෙක්ටයාර 56,844ක් හා හෙක්ටයාර් 72,645 අවරෝදක කලාපයක් ද මෙයට අයත් වේ. සුපිරි උණුසුම් ජෛවවිද්යාත්මක කලාපයක් වන මෙහි අසාමාන්ය ශාක හා සත්ව ගහණය වගේම western-purple-faced langur, the Horton Plains slender loris, Sri Lankan leopard වගේ විශේෂ සතුන් කීප දෙනෙකුගේ නිජබිම වීමත් මීට හේතු වෙලා තියෙනවා.
ලෝක උරුම හා ඒ හා සම්බන්ධ පූර්ණ ක්රියාවලිය ගැන ප්රමාණවත් වැටහීමක් ගන්න පුළුවන් https://whc.unesco.org වෙබ් අඩවියට ගියොත්. රටේ කාටකාටත් මේ ගැන අවබෝධයක් ගන්න එක වැදගත්. පහුගිය කාලේ ලොකු කතාවක් තියා අපේ ත්රිපිටකට ලෝක උරුමයක් කරනවා කියලා. දැන් ඒ කතාවට මොනව වෙලාද දන් නැහැ.
මේ සමඟ අමුණලා තියෙන රුවන්වැලි සෑයේ රූපේ ගත්තේ https://en.wikipedia.org වෙබ් අඩවියෙන්.
චන්දිම අඹන්වල
2020.04.27 / 04.24 PM

37. බලංගොඩ මිනිසාගේ අභිචාර හා කලාව

බලංගොඩ මිනිසා කොච්චර රසවතෙක්ද, ඒ කියන්නේ කලාව ගැන තිබුණු උනන්දුවයි මරණයෙන් පස්සේ දේවල් ගැන හිතපු විදිහයි ගැන සුළුවෙන් ලියන්නයි මේ සටහන වෙන් වෙන්නේ.
එක විදිහටකට බැලුවහම මරණයෙන් පස්සේ දේවල් ගැනයි අධිස්වාභාවික දේවල් ගැනයි හිතල කරන දේවලට අභිචාර කියන්නත් පුළුවන්. බලංගොඩ මානවයත් අපිට තේරුම් ගන්න බැරි දේවල් කළ බව පේනවා. බලංගොඩ මානව ජනාවාසවලින් රතු නැත්නම් කහ හිරියල් උරච්චි කරල ගෑව මිනිස් ඇටකටු හමුවෙලා. බටදොඹලෙන අවුරුදු 31,000ක් පරණ පස් තට්ටුවෙන් කහපාට ගුරුගල් ආලේප කළ මිනිස් කොදු ඇටයක් හා අවුරුදු 7,700 පමණ පැරණි පස් තට්ටුවෙන් ගුරුගල් පාට ගෑව මිනිස් දත් ලැබිල තියෙනවා. ෆා-හියන් ලෙනේ අවුරුදු 5,400ක් පරණ පස් තට්ටුවෙන් රතු ගුරුගල් ගෑව ඇට කෑලිත් හමුවෙලා. ඒ විතරක් ද රාවණා ඇල්ල ගුහාවෙන් හිස් මුදුන හිල් කරල පැත්තකින් සියුම් සිදුරකුත් විදල ගුරුගල් ගෑව හිස් කබල හරිම වැදගත්. මේ ගැන පුරාවිද්යාඥයෝ විවිධ කතා කියනවා. අත්තනගල්ල පොත්ගුල් ලෙනේ ඉහළ මට්ටමේ අවුල් පස්තට්ටුවකින් හමුවුණු ගුරුගල් පාට ගෑව ඔලුකටු කෑල්ලත් වැදගත්. මේ විදිහට තෝරාගත් අස්ථිවල විතරයි පාට ගාල තියෙන්නේ. වැද්දෝ නැත්නම් සිංහලයෝ අතර මෙහෙම සිරිතක් දැන් නෑ. ඉස්සර තිබ්බ බවට සාධකත් නැහැ. මේ බලංගොඩ මානවයට සීමාවුණු පුරුද්දක් බවයි පේන්නේ. හැබැයි බලංගොඩ මිනිසා මොන අදහසකින් මේ දේ කළාද කියල තාම අදහසක් නැහැ.
ඒ වගේම බලංගොඩ මිනිසා තමන්ගේ සඟයන්ගේ සිරුරු භූමිදාන කරන විට බොහෝවිට හිස යොමුකරල තියෙන්නේ බටහිර දිසාවට. අදත් අපි ඒ විදිහටම කරනවා. ඉර බැහැගෙන යනව වගේ ජීවිතය ගෙවිල යනව කියන අදහසින් එහෙම කරාද දන්නේ නැහැ. අම්මගේ බඩේ ඉන්න ආකාරයට ඒ සිරුර හකුළලයි තියෙන්නෙත්. මේ ගැන සමහර අය ලොකු අර්ථකතන දුන්නත් පොළොව හාරන්න අමාරු නිසා පොඩි වළට හකුලවපු මෘතදේහය දාන්න ඇතියි කියන එකයි මේ ලේඛකයාගේ අදහස.
මිනිස්සු වින්දනයට නැත්නම් මොළයේ ඇතිවන වර්ධනයේ ඵලයක් විදිහට කලාව ගැන උනන්දු වෙනවා. ඉහළ පුරාශිලා යුගයේ දි ලෝකයේ වෙනත් තැන්වල ඉදපු මිනිස්සු කලාව සම්බන්ධයෙන් අත්කරගෙන තියෙන වර්ධනය පෙන්වන නිදසුන් බොහොමයි. අවුරුදු 20,000ක් විතර පරණ දකුණු ප්රංශයේ ලැස්කෝස් ගුහා වගේම අවුරුදු 34,000-12,000 කාලයට අයිති උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවල තියෙන සත්ව රූප මේ සඳහා හොඳම උදාහරණ. පුරාවිද්යා කැනීම්වලින් හමුවුණු පැස්බර බිත්තර කටුවල ඇඳල තියෙන සැරසිලි වගේම මවුදෙවඟන කියල හිතන මැටි කාන්තා රූපත් ඉහළ පුරාශිලා යුගයේ මිනිසුන්ගේ කලා හැකියාව පෙන්නනවා. කාලය අනුව ගත්තහම මේ නිර්මාණ ලංකාවේ මධ්යශිලා යුගයටයි සමාන්තර.
ඕසටේර්ලියානු ජාතික විශ්වවිද්යාලයේ දර්ශනසූරි උපාධියට ඉදිරිපත් කළ Prehistoric Sri Lanka: Late Pleistocene Rockshelters and an Open-Air Site කියන නිබන්ධයේ බලංගොඩ මිනිසාගේ සමාජ පුරාවිද්යාව ගැන ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා දක්වල තියෙනවා. ඒ වගේම ප්රවීන සත්ව විද්යාඥ කැළුම් මනමේන්ද්ර-ආරච්චි මැතිතුමාත් මේ ගැන විස්තර පළකරල තියෙනවා. මේ සටහනේ තියෙන බොහෝ විස්තර ඒ මූලාශ්රයවලින් ගත්ත ඒව.
බලංගොඩ මිනිසා හදපු අපූරු නිර්මාණ කීපයක් ගැනම තොරතුරු ගල්ලෙන් කැනීම්වලින් හමුවෙලා තියෙනවා. හැබැයි ඒ සේරම පබළු විතරයි, වෙනත් කලා නිර්මාණ කියල හිතන්න පුළුවන් දේවල් නැති තරම්.
බටදොඹලෙන දළ වශයෙන් අවුරුදු 28,500ක් විතර පරණ පස් තට්ටුවෙන් හමුවුණු බෙලිකටු පබළුව ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයෙන් හමුවන පැරණිම පළඳනාව විදිහට සැලකෙනවා. තනි කට්ටක් තියෙන මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කෙලවර කොටසකින් ක්රමවත්ව ඉවත් කළ වටකුරු කටු කෑල්ලකින් මේ පබළුව හදල තියෙන්නේ. මිලිමීටර් 13.7×15.3×1.5 ප්රමාණයේ මේ පබළුව දුඹුරු රතුවන් පාටයි. දෙපසින්ම සියුම්ව විදලයි මැද සිදුර හදල තියෙන්නේ. මේවා ඉන්දියාව වගේම වෙනත් රටවලින් ලැබෙන මධ්යශිලා පබළුවලට වඩා පරණයි. කිතුල්ගල බෙලිලෙනින් බැරල් හැඩයේ අස්ථි පබළුවක් ලැබිල තියෙනවා ඇත.
බටදොඹලෙන වසර 16,000-14,300 කාලෙට අයිති පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් මුහුදු බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු මිලිමීටර් 8.2×6.3×0.6 ප්රමාණයෙ ඕවලාකාර පබළුවත් ලස්සන නිර්මාණයක්. මෙය ලා රෝස මිශ්ර රිදිවන් අළු පැහැතියි. ඒ පළඳනාවේ එක් පැත්තක දාරයේ සියුම් දැති ආකාර රටාවක් කපල තියෙන්නේ ලස්සන වැඩි වෙන්න කියලයි හිතන්නේ. මෙහි මැදත් සියුම් සිදුරක් සකසල තියෙනවා. ඒ පස් පස් තට්ටුවෙන්ම ලැබුණු අනෙක් පළදනාව තනි කටුවේ මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් හදල තියෙනවා. හැඩයෙන් ඕවලාකාර ලා කහ පාට මේකේ ප්රමාණය මිලිමීටර් 8.7×7.7×1.5ක්. පිට දාරය සියුම් විදිහට හදල මැද සියුම් සිදුරක් විදල තියෙනවා. බටදොඹලෙනේම දළ වශයෙන් අවුරුදු 13,500 කාලේ පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු පබළුව තරමක් දුරට ත්රිකෝණ හැඩය එන විදිහට අතුල්ලා හදග තියෙන්නේ. කෙළවරක සියුම් සිදුරක් විදල. උපරීම උස මිලිමීටර් 16.9ක් හා පළල හා ඝණකම මිලිමීටර් 10.0×0.6ක් වන මෙය අළු පැහැතියි.
ෆා-හියන් ලෙනේ මිශ්ර පස් තට්ටුවකින් ලැබිල තියෙන මුහුදේ ඉන්න කොටි මෝර දතකින් හදපු ගෙල පළඳනාව බලංගොඩ මිනිසාගේ තවත් වැදගත් නිමැවුමක්. දතේ පහළ දෙපසින්ම විදල පළදනාවක් විදිහට හදලා. අත්තනගල්ල පොත්ගුල්ලෙන කැනීමේදිත් මේ වගේ නිර්මාණ කීපයක්ම ලැබිල තියෙනවා. මෙතැනත් කොටි මෝර දතකින් හදපු ගෙල පළදනාවක් වගේම මුහුදු බෙලිකට්ටකින් හදපු කොටු හැඩයේ පළදනාවකුත් ලැබුනා. පස්සේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා කළ අළුගල්ගේ කැනීමෙනුත් මොර දත් පළඳනාවක් ලැබිල තියෙනවා. සත්ව විද්යාඥයෝ කියන විදිහට මේ කොටි මෝරාගේ දත් හොයාගන්න එක ලෙහෙසිපහසු නැහැ. ගැඹුරු මුහුදේ ඉන්න මේ මාළුවා මියගියහම මුහුදේ ගිලෙනවා මිසක් ගොඩබිමට ගසාගෙන එන් නැහැ කියනවා. ඉතිං අදින් අවුරුදු දහපහළොස් දහසකට කළින් අපේ් මිනිස්සු මේ දත් ගෙනල්ල බෙල්ලේ එල්ල ගත්ත කියන්නේම අපි තාම දන් නැති අසිරිමත් කතාවක්. මේ වගේ දේවල් පිටරටක තිබුණනම් ඩිස්කවරි වගේ චැනල්වල ලෝකෙටම පෙන්නනන්න ලස්සන වාර්තා වැඩසටහන් හදයි. අපිට එහෙම බැරිවෙලා තියෙන නිසයි යම් යම් අය මේවට වැරදි, අභව්ය අර්ථකථන දෙන්න උත්සාහ දරන්නේ. මුහුදු බෙලිකටු ගැන බලංගොඩ මානවයා විශේෂ ඇල්මක් දක්වලා තියෙනවා. අපි කියල වෙනසකුත් නෑනේ. අපි මුහුදු වෙරළට ගියාම බෙලිකටු ඇහිදින්න ආසා කරන්නේ ඇයි. අපි බලංගොඩ මිනිසාගේ මී මුණුපුරේ නිසා එහෙම නොකාළොත් නොට්ටිගේ මී මුණුපුරෝ වෙයිනේ නේද?
කැනීම්වලින් හමුවන ගස් ගොළුබෙල්ලන්ගේ කටු, නූලක අමුණලා මාලයක් විදිහට පළදින්න ඇති කියලත් අදහසක් තියෙනවා. කැනීම්වලින් හමුවන බෙලිකටු බොහෝමයක සිදුරක් පැවතීමයි මේ අදහස ඉදිරිපත් වෙන්න හේතුව. වැසි වනාන්තරවල හා මිරිදියේ ඉන්න බෙල්ලන්ගේ කටු මේ අතර තියෙනවා. මිනිස්සු වැඩි කැමැත්තක් දක්වන්නේ දුර්ලභ සිත්ඇදගන්න දේවල් පළදින්නයි. විශේෂම හේතුවක් නැත්නම් ගස්ගොළුබෙල්ලෝ වගේ සුලභ දෙයක් ආභරණ විදිහට පැළඳුවා කියල හිතන්න අමාරුයි. බෙලිකටුවල ඇති මේ සිදුර හදල තියෙන්නේ කටුව ඇතුළේ තියෙන මස් එළියට ගන්න බවයි පේන්නේ. ආචාර්ය වසන්ත වැලිඅංග මැතිතුමා ඉදිරිපත් කළ බලංගොඩ මිනිසා බෙල්ලෝ අනුබව කිරිමේ කැමැත්තෙන් එක්රැස් කිරීම, ගෙනයාම හා ගබඩා කිරීමේ දී මේ සිදුර ඇතිවුණා කියන අදහස වඩාත් පිළිගන්න පුළුවන්.
ලංකාවේ ජ්යාමිතික ක්ෂුද්රශිලා මෙවළම් කලාත්මක ලක්ෂණයන්ගෙන් අනූනයි. කලා නිමැවුම් විදිහට කෙළින්ම හිතන්න බැරිවුනත් මේ ගල් මෙවළම් බලංගොඩ මිනිසාගේ කලාත්මක අදහස් වගේම නිර්මාණශීලීත්වය පෙන්නනවා. ‘බලංගොඩ උල් මෙවළම්’ ගත්තත් සියුම් හා ඉහළ නිර්මාණ ලක්ෂණ අනූනයි. මේ ගැන වෙනම සටහනක් ඇතිි මේ සටහන් පෙළේම.
ලංකාවේ තියෙන ගුහා සිතුවම් අතර තවම ප්රා ඓතිහාසික කාලෙට අයිතියි කියල නිශ්චිතවම කියන්න පුළුවන් සිතුවම් හමුවෙලා නැහැ. ඉතිං ඒ ගැන කියන්න තාම ඉක්මන් වැඩියි.
කොහොම නමුත් මේ කිවුව කරුණුත් එක්ක පේනවා බලංගොඩ මිනිසා කලාව ගැන ඉහළ රුචිකත්වයක් තිබුණු කෙනෙක් බව. මේ ආභරණ ගොඩාක් විට හදන්න පළඳින්න ඇත්තේ කාන්තාවෝ වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් ලොකෙන් ඉස්ඉස්සෙල්ලම ආභරණ පළඳින්න පුරුදු වුණු කාන්තාවෝ අතර අපේ කාන්තාවෝ පෙරමුණේ ඉන්නවා.
චන්දිම අඹන්වල
2020.04.25 / 03.15 PM

32. බලංගොඩ මිනිසාගේ ජීවනෝපාය

බලංගොඩ මිනිසා ජීවත් වුණු ආකාරය ගැනයි මේ සටහනින් කතා කරන්න යන්නේ. බලංගොඩ මානවයාගේ ආහාර රටාව ගැන තොරතුරු අතුරින් බොහෝමයක් පහතරට වියළි කලාපයේ පිහිටි පුරාවිද්යා ස්ථානවල හා තෙත් කලාපයේ ගල්ලෙන් තුළ සිදුකළ පුරාවිද්යා කැනීම් තුළින් හමු වෙලා තියෙන්නේ. බුලත්සිංහල ෆා-හියං ලෙන, කුරුවිට බටදොඹලෙන හා කිතුල්ගල බෙලිලෙන යන ගල්ලෙන් තුළ අවස්ථා කීපයක කළ පුරාවිද්යා කැනීම් මඟින් වැඩි සාධක ප්රමාණයක් හමු වෙලා තියෙනවා. එම සාධක පොදුවේ සලකා බැලුවහම, අතට අසුවන සෑම සතෙක්ම මධ්යශිලා යුගයේ දිවිගෙවු බලංගොඩ මානවයා ආහාර වශයෙන් යොදාගෙන තියෙන බව පේනවා. තවත් ආකාරයකට ගත්තොත්, ගෙවල ඉන්න බටු මීයාගේ ඉදල අලි පැටියා දක්වා පුළුල් පරාසයක සතුන් බලංගොඩ මානවයාගේ සත්ව ආහාර තුළ නියෝජනය වෙනවා. ප්රාග් ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට අවසානය දක්වා මෙම ආහාර රටාව කැපී පෙනෙන වෙනසක් වෙලා නැහැ.
බලංගොඩ මානවයා ආහාරට ගත්තු සතුන් අතර වැඩිපුර ඉන්නේ දඬුලේනා, මීමින්නා, ඉත්තෑවා, හම්බාවා, උරුළෑවා, කබල්ලෑවා හා වඳුරා වගේ සත්තු. මේ සත්තු ප්රමාණයෙන් කුඩා වීම වගේම අනික් ලොකු සතුන්ට වඩා පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් වීම තමා මේ වැඩිවීමට හේතුව. වල් ඌරා, ගෝනා වැනි මැදි පමනේ විශාල සතුන්ගේ නියෝජනය මුල් කොටසට වඩා අඩුයි. ගව වර්ගයට අයත් විශාල සතුන් ගේ නියෝජනය ඊටත් අඩුයි. ඒ කියන්නේ සත්තු ආහාරයට ගද්දි කැමැත්ත හෝ වෙනත් සංස්කෘතික හේතු නෙමෙයි බලපාල තියෙන්නේ. ඒ සත්තු අල්ලා ගැනීමේ පහසුව. බලංගොඩ මානවයා විසින් ආහාරයට ගනු ලැබූ සතුන් අතර අලි පැටව්, ගවරා, කුළු මිහරකා, කළු වලහා, ඌරා, ගෝනා, තිත් මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඬු ලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වඳුරා, වළි කුකුළා, හබන් කුකුළා, පිඹුරා, තලගොයා, ඉබ්බෝ වර්ග, පිඹුරා, ගැරඬියා වගේ සර්පයෝ, තිත්තයා, ලූලා වැනි මිරිදිය මාළු වර්ග, මිරිදිය කකුළුවෝ, ගොඩබ්ම් හා ගස් ගොළුබෙල්ලෝ වගේ සතුන් රාෂියකගේ සාධක තියෙනවා. අවුරුදු 45,000 විතර කාලේ ඉදල ක්රිස්තු පූර්ව 1,500 වගේ වෙනකල් තත්ත්වය ඕක තමා.
2005 දී විතර ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් බුලත්සිංහල ෆා-හියන් ලෙන කැනීම් කරා ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාගේ ප්රධානත්වයෙන්. ඒ කැනීමේ දී හමුවුණු සතුන්ගේ කොටස් බලංගොඩ මිනිසාගේ ආහාර රටාව අවබෝධ කරගන්න කදිම අවස්ථාවක්. මේ සාධක පුරාසත්ව විද්යාඥ ජූඩ් පෙරේරා මැතිතුමා විසින් විශ්ලේෂණය කරා. ඒ අනුව පහත දැක්වෙන සත්ව විශේෂ ඒ අතර ඉන්න බව හඳුනාගෙන තියෙනවා. කිරි බී වැඩෙන සත්තු විදිහට කුළු මී හරකා, ගෝන මුවා, ගෝනා, ඕලු මුවා, මීමින්නා, වල් ඌරා, අලියා, කොටියා හෙවත් දිවියා, හඳුන් දිවියා, කොළ දිවියා, උගුඩුවන්, හෝතබුවන් වගේ සත්තු ඉන්නවා. ඒ වගේම උරුලෑවා, නරියා, කොළ වඳුරා, රිලවා, උණහපුළුවා, කබල්ලෑවා, වල් හාවා, ඉත්තෑවා, දඬු ලේනා, මූකලන් ලේනා, ඌරු මීයා, වැලි මීයා හා ගෙවල මීයා කියන සතුන්ගේ අස්ථිත් හඳුනාගෙන තියෙනවා. කිඹුලා, තලගොයා, කබරගොයා, කටුස්සා, පිඹුරා, නිශ්චිතව හඳුනා නොගත් සර්පයෝ වශයෙන් උරග සාධකත් අන්තර්ගතයි. ගල් ඉබ්බා, කිරි ඉබ්බා හා ගෙම්බන් විශේෂ කීපයක් හඳුනාගෙන ඉන්නවා. අවශේෂ අනුව වලි කුකුළා හා නිශ්චිතව හඳුනාගත නොහැකි පක්ෂී විශේෂ ගණනාවක් වශයෙන් පක්ෂි නියෝජනයක් ද තියෙනවා. බලංගොඩ මිනිසා ආහාර සඳහා මිරිදිය හා කරදිය යන දෙ වර්ගයටම අයිති මාළු අල්ලලා තියෙනවා. මිරිදිය මතස්යයන් අතර ලෙහෙල්ලා, අංකුට්ටා, හුංගා, මුගුරා හා කණයා වගේ මාළුවොත් කරදිය මසුන් අතර කොටි මෝරා, අගුලවා හා තවත් හඳුනා නොගත් මසුන් වර්ග කීපයකම සාධකත් හමු වී ඇත. ඊට අමතරව ගොඩබිමේ හා වතුරේ ඉන්න බෙල්ලන් වර්ග දෙකම පිළිබඳවත් සාධක අඩුවක් නැහැ. ගොඩ බෙල්ලන් වශයෙන් Acavus superbus, Acavus phoenix, Acavus heamastoma, Acavus sp., මුක්කන් බෙල්ලා, Oligospira poleii, Cyclophorus sp., Aulopoma sp. හා Tortulosa sp. වර්ග දැකගත හැකි අතර දිය බෙල්ලන් අතර Paludomus neritoides, Paludomus loricatus, Paludomus sulcatus හා Pila sp. වැනි වර්ග නියෝජනය වේ. ඇත්තටම කිවුවොත් කාපු අය ගැන කියනවට වඩා ඔක්කොම සත්තු කෑවා කියන එක ලේසයි. ඒ කියන්නේ මේ හැම සතෙක්ගෙම ලේ අපේ ඇඟේ ඇති නේද?
ලංකාවේ මධ්යශිලා මානවයාගේ ශාක ආහාර ගැන විධිමත් සාධක පුරාවිද්යා කැනීම් තුළින් මේ දක්වා සොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඒත් ලංකාවේ වගේම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ ගැන කරපු මානවවංශ ගවේෂණ අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ශාක වර්ගයක්ම කෑමට ගත්ත කියන එකට සැකයක් නෑ. දික්කැකුණ ඇට, වල් දෙල්, කිතුල් හා ඇටි කෙහෙල් යන ඇට වර්ගත්, ගොනල, කටු අල හා බුත්සරණ වගේ අල වර්ගත් ඇටඹ, ලාවුළු හා තිඹිරි වැනි සුබුලු වර්ගත් කෑමට ගන්න ඇති. ආහාරය වශයෙන් ගත් මද වර්ග අතර බුළු හා මඩු තියෙන්න ඇති. ඊට අමතරව අපේ කැලෑවල තියෙන උගුරැස්ස, පළු, වීර, දිවුල්, වෙරළු, මොර, දොතළු, වරකා, ගල් සියඹලා, මොර, හිඹුටු, කොන්, කිරිල්ල, මාදන්, බුළු, කිරි කෝන් හා හීන් එරමිණියා වැනි පළතුරු වර්ගත, මී වගේ මල් වර්ගත් කෑමට නොගන්න විදිහක් නෑ. මේ සියලුම කාරණා බලද්දි අපේ මධ්යශිලා මානවයා නැත්නම් බලංගොඩ මිනිසාට තමන්ගේ ආහාර විදිහට සමබර ආහාර වේලක් ලැබෙන්න ඇති. දුක හිතෙන කාරණයකුත් තියෙනවා. මේ මිනිස්සු ගොඩාක් වෙලාවට බඩගින්නේ ඉන්නත් ඇති කෑම නැති නිසා. ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා කියන විදිහට ගොඩක්ම බඩගින්නේ ඉන්න ඇත්තේ කාන්තා පාර්ශවයයි, පොඩි දරුවනුයි. පිරිමින් දඩයමේ ගියාට පස්සේ බෙල්ලෝ වගේ දේවල් කාල තියෙන්නේ එයාලා. බෙල්ලො විතරක් කාල බඩ පුරවගන්න එක අමාරු දෙයක්.
බලංගොඩ මානවයාගේ දත් බලද්දි ඒවායේ සැලකිය යුතු ගෙවී යාමක් පේන්න තියෙනවා. මීට හොඳම සාධක බෙල්ලන්බැඳිපැලැස්ස හා බටදොඹලෙනින් ලැබිල තියෙනවා. මේ මිනිසුන්ගේ කෑම තුළ තදට වැලි මිශ්ර වෙලා තිබුණු නිසා ඒවාට මේ දත් ගෙවෙන්න ඇති කියලයි හිතන්නේ. ඇඹරුම් ගල් යොදාගෙන ශාක ආහාර අඹරද්දිත් ඒ කෑම වලට වැලි එක් වෙන්න ඇති. අල වර්ග කැවේ හොදලත් නෙමෙයිනේ. මස් වගේ දේවල් අමුවෙන් හපල කද්දි ඒවායේ තියෙන තදබවත් දත් ගෙවෙන්න අඩුවැඩි වශයෙන් හේතුවෙන්න ඇති. බලංගොඩ මානවයාගේ දත් ගැන බලපු ඩයනා හෝකි වගේ මානවවිද්යාඥයෝ කියල තියෙන්නේ මේ මිනිසුන්ගේ දත් රෝග අඩුයි කියලයි. ඒකට හේතුව වැද්දෝ වගේ බලංගොඩ මානවයත් ගස්වල පොතු වර්ග හපන්න හුරු වෙලා හිටීම කියලයි ඒයාලා කියන්නේ.
මේ සමඟ තියෙන රූපේ වම් පැත්තේ තියෙන බලංගොඩ මානවයාගේ සිතුවම ආචාර්ය පි.ඊ.පි. දැරණියගල මැතිතුමා ඇදපු එකක්. බෙල්ලන්බැඳිපැලැස්සෙන් හමුවුණු දත් ඇන්ද ගත්තේ කැළුම් මනමේන්ද්ර-ආරච්චි මැතිතුමාගෙන්.
චන්දිම අඹන්වල
2020.04.17 / 10.44 AM

29. දියතරිප්පු

මේ සටහන මෙතෙක් සටහන් නොතැබූ වෙනම පැත්තක් ගැනයි. ඒ ගල් භාවිත කරල කරන නිර්මාණ ගැනයි. නැත්නම් පාෂාණ භාවියෙන් නිර්මාණය කරන චූඩාමාණික්යය, විසිතුරු ගල් හා ගල් ඇස් කණ්ණාඩි නිර්මාණ ගැනයි. ඒ කියන්නේ මධ්ය කාලීන අවධියේ මෙරට ඇති වෙලා පැවතුණු දියතරිප්පු නිර්මාණ ගැනයි. මහනුවර යුගයේ සිට මේ දක්වාම පවතින අතීත නිර්මාණ කලාශිල්පයන්ගේ ලක්ෂණ මේ යැයි පෙන්වා දෙන කුඩා පරිමාණයෙන් හෝ ලංකාවේ පැවතෙන නිර්මාණයක් තමා දියතරිප්පු. ඒ ගැන බොහොම කෙටියෙන් කතාකරමු. මගේ මේ සටහනට සම්බන්ධ ශිල්පය නැත්නම් ශිල්පියා ඉන්නේ මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර ප්රදේශීය ලේකම් කොට්ඨාසයේ තියෙන කිරිවවුල කියන ගමේ. මේ ගම සාම්ප්රදායික පිත්තල කර්මාන්තයට ප්රසිද්ධ ගමක්. මම කියන්න යන ශිල්පියා ඉන්නේ සුප්රසිද්ධ ගඩලාදෙණිය පන්සලට ආසන්න තැනක.
අද මෙම ශිල්පය පවත්වාගෙන යනු ලබන්නේ චූලාමණි ගෙදර ගුණසෝම කියන ශිල්පියා. මේ ශිල්පයේ යෙදෙන තවත් අය හිටියත් අද වන විට මෙම ශිල්පය පාරම්පරික උරුමයක් විදිහට කරන එකම ශිල්පියා මොහු බවයි කියැවෙන්නේ. මොහු මෙම ශිල්පය ඉගෙන ගෙන තියෙන්නේ 1928 දි ඉපදුණු චූලාමණි ගෙදර සියදොරිස් හාමිගෙන්. ඒ කියන්නේ ඔහුගේ පියා. සියදොරිස් හාමි ඒ ශිල්පය ඔහුගේ පියා වූ 1800 විතර ඉපදුණු චූලාමණි ගෙදර ඩිංගිරි අප්පු යටතෙයි හදාරළ තියෙන්නේ. ඔහුගේ පියා ඊටත් කළින් ඉපදුණු චූලාමණි ගෙදර ඩිංගිරි නයිදේ. එතකොට පරපුරින් පරපුරට පියාගෙන් පුතාට විදිහටයි මේ ශිල්පය අද වනතෙක් පැවතගෙන ඇවිත් තියෙන්නේ.
මේ දියතරිප්පු ශිල්පයේ අතීතය ගැන හොයල බලද්දි ඒ ගැන ලියැවුණු දේවල් නැහැ. කතාවට තියෙන්නේ ගම්පොළ රාජධානි සමයේ හිටිය හතර වැනි බුවනෙකබාහු රජුගේ ඔටුන්නට මේ පරපුරේ ආදි කෙනෙකු විසින් සිළුමිණක් සාදා දුන්නා කියල. හැබැයි පුදුමේ කියන්නේ මහනුවර යුගයේ හා පසු කාලීන ව පැවති කලාශිල්ප ගැන හොයල බලපු ආචාර්ය ආනන්ද කෛන්ටිෂ් කමාරස්වාමි මැතිතුමාට මේ ශිල්පීන් හමු වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි 1900ට එහා මෙහා කාලේ මුළුමහත් මධ්යම පළාත ගැනම විස්තර හෙවුව ඒ.සි. ලෝරි මැතිතුමාටත් මේ ශිල්පීන් ගැන විස්තර කිසිවක් හමුවෙලා නැහැ.
මේ ශිල්පීන් විසින් විවිධ වර්ගයේ නිර්මාණ කරන බවයි පේන්නේ. ඒ අතර ස්තූපවල පලදන චූඩාමාණික්ය, කුඩා ස්තූප, පෙන්ඩන්ට්, මාල පෙති වගේ විසිතුරු ගල්, අතේ පලදින වළලු හා ඇස් කණ්ණාඩි වැනි දේවල් සකස් කරනවා. මේ වැඩ සඳහා ගන්නේ විනිවිද පේන පළිඟු එහෙම නැත්නම් කළු පැහැ කහට පළිඟු කියන පළිඟු ගල්. දියතරිප්පු ගල් හා බිම් වීදුරු කියල හඳුන්වන ගල් වර්ග. මේවා රත්නපුරේ, ඇළහැර වගේ පැතිවල මැණික් පතල් වලින් ගේන්නේ. අපි කියන විදිහට මේවා අර්ධ මාණික්යමය පාෂාණ.
බොහොමයක් සුළු කලා නිර්මාණ ගැන හොයල බලද්දි ඒ හා සම්බන්ධ අභිචාර තිබුණු බව පැහැදිලියි. ඒත් දැන් මේ ගැන හොයා බලද්දි මේ වගේ පුදසත්කාර නම් මේ ශිල්පීන් සතුව ඉතිරි වෙලා නැහැ. ඒ විතරක් නොව මේ ශිල්පය පිළිබඳ සම්ප්රදායික අභිචාර තිබුණු බවත් දැනගන්න විදිහකුත් නෑ.
දියතරිප්පු නිර්මාණ කිරීම සඳහා පාවිච්චි කරන්නේ සරළ උපකරණ කීපයක්. දැතේ මහන්සිය තමයි ප්රධාන. මේ තියෙන සීමිත උපකරණ අතර පට්ටලය කියන සරළ ලිවරය තමයි වැදගත්. පට්ටලය උපකාරයෙන් තමා පාෂාණ කපා ගැනීම, රටා කපා ගැනීම, කොටස් වෙන්කර ගැනීම වගේ දේවල් කරන්නේ. පට්ටලයේ පින්තූරයක් මේ සටහන සමඟ තියෙන ඡායාරූවේ තියෙනවා. පට්ටලය ක්රියා කරන්නේ පුවක් කිරක් භාවිතයෙන් හදාගත් දුන්න මඟින්. දුන්නේ යොත සඳහා මුව හමක් තමයි ඉස්සර භාවිත කරල තියෙන්නේ. පට්ටලය ක්රියාත්මක කිරීම එක් පුද්ගලයෙකු හෝ දෙ දෙනෙකුයි කරන්නේ. පට්ටලයේ කැරකැවෙන ලෝහ තලය සම්බන්ධ කරන්නේ පන්දම කියල හඳුන්වන මැලියම් භාවිත කරල. පන්දම හදන්න ගඩොළු කුඩු, උළු කුඩු දුම්මල හා පොල්තෙල් භාවිත කරනව.
දියතරිප්පු ඇස් කණ්නාඩියක් හඳන එක තමා විශේෂම දේ. ඒ නිසා ඒ නිර්මාණ ගැන ටිකක් කියන්නම්. ඉස්සෙල්ලම සුදුසු ගලක් අරගෙන පට්ටලය උපකාරයෙන් රළු විදිහට ඇහැට අවශය කොටස් කපා වෙන්කර ගන්නවා. ඇහැ කියල කියන්නේ කණ්ණාඩියේ විදුරුවට. ඒ අවස්ථාවේම රාමුවට ගැලපෙන ආකාරයට ගල හැඩගසා ගැනීමත් කරනවා. ඊට පස්සේ පට්ටලයේ තලයට අල්ලල ඔප දා ගැනීමක් කරනවා. මේ වැඩ ටිකට පැයක් විතර යනවා. ඊට පස්සේ තමා සපු දැවයෙන් සකස් කළ අල්ලුවට සවිකර ගන්නේ. ඊට පස්සෙයි ඒ අල්ලුවේ අලවපු ඇහැ තිරුවාණා ගලක දෙපැත්තට අතුල්ලල අවශය විදිහට ඔප දාගන්නේ. මේ ඔප දාන අවස්ථාවේ ලස්සන බිම්බයක් ඒ ඇහේ පේනවා. ඔප දාල ඉවරයි කියල දැනගන්නේ මේ බිම්බය ගෙවිල ඉවර වෙන්න ඕන. එක් පැත්තක් ඔප දාගන්න පැය එකහමාරක් විතර යනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට දෙපැත්තම සකසා ගන්නවා. මේ වැඩේට සැහෙන වෙලාවක් යනවා. ඊට පස්සේ තමා ඇහැ නියමිත පරිදි ඔප දාගන්න අඩි 4ක් විතර දිග එරමුදු කොටයක අතුල්ල ගන්නේ. එරමුදු මෘදු නිසා මේ වැඩේට උචිතයි කියලයි කියන්නේ. මේ වැඩෙටත් පැය තුනක් විතර ගතවෙනවා. ඇහැ ආලෝකයට ඇල්ලු විට අවට පරිසරයේ තියෙන ගහකොළ එතුළින් මැනවින් පෙනෙන අවස්ථාව ආව කියන්නේ ඔප දැමීම අහවරයි. මේ ඔප දැමීමට වඩිය කියල ද්රාවණයක් භාවිත කරනවා, දියතරිප්පු ගල් පුළුස්සලා ඒ අළුවලින් හදාගන්න ද්රාවණයක් ඒක. ඊටත් පස්සෙයි බොහෝම සුක්ෂම විදිහට ලඟ බලන කොටස සකසන්නේ. ඒවායින් පස්සේ නැවත සුමට කරල රාමවකට සවිකිරීමයි තියෙන්නේ. දැන්නම් ප්ලාස්ටික් රාමු තමා. කෞතුකාගාරවල තියෙන රජ කාලේ ඇස් කණ්ණාඩි බලද්දි පේන්නේ ඒවට ඇත් දළ නැත්තන් සතුන්ගේ අං යොදාගත්ත බවයි.
මේ විදිහට තිස් ඇදිරිය, හතළිස් ඇඳිරිය හා හැට ඇඳිරිය ආදි වශයෙන් ඇස් කණ්ණාඩි හදනවා. කලින් කිවුව වගේ පළිඟු හා කහට පළිඟු තමා ඇස් කණ්ණාඩිවලට යොදාගන්නේ. මේ වැඩවලට ශිල්පියාට පවුලේ අයගේ සහය තමයි ලැබෙන්නේ. ඒකනේ සුළු කලා නිර්මාණ කියල මේව හඳුන්වන්නේ. මහාපරිමාණ නැහැ. මහාපරිමාණව මේ නිර්මාණ කරනවා කියන්නේ මේවගේ තියෙන ගුණාත්මක බව නැතිවෙනවා. හැබැයි දැන් තියෙන තත්ත්වය එක්ක මේ දේ්කම රැකගන්න ක්රමයක් හඳා ගන්න වෙනවා. දැන් තියෙන්නේ කලාතුරකින් එන ඉල්ලුමට සපයනවා මිසක් භාණ්ඩය සපයල ඉල්ලුම හඳන ක්රමයක් නෙවෙයි. හැබැයි කාන්තාවන් පළදිල මාල, විසිතුරු ගල් හා චූඩාමාණික්ය වගේ දේවලට නම් ඉල්ලුමක් තියෙනවා. හැබැයි නිර්මාණ සඳහා සුදුසු ගල් හොයාගන්න එකත් දැන් දැන් ප්රශ්නයක් කියල කියනවා.
ලංකාවේ හිටිය විශිෂ්ට උගතෙකු වන ආචාර්ය ආනන්ද කෛන්ටිෂ් කුමාරස්වාමි මැතිතුමා ලිවුව ‘මධ්ය කාලීන සිංහල කලා’ කියන පොතින් කෑල්ලක් උපුටලා මගේ මේ සටහන ඉවර කරන්නම්.

ජන කොටසකගේ හෝ ජාතියක විශිෂ්ටාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔවුන්ගේ පූර්වගාමීන් විසින් බිහිකළ සමාජ-තාක්ෂණික සම්ප්රදා කුළුගැන්වීම වැදගත් වනු ඇත. කාර්මීකකරණ ක්රියාවලියේ අඬුවලට හසු නොවී තවමත් ජීවමාන මෙවැනි තාක්ෂණික සම්ප්රදා ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යාම සඳහා යෝග්ය සමාජාරක්ෂණ ක්රමවේද ක්රියාත්මක කිරීම අතීත පරම්පරාව වන්දනය සඳහා පමණක් නොව ලෝක මානවයා හමුවේ ජාතික අනන්යතාව ස්ථාපනය කරගැනීම සඳහා ඇති හොදම මාර්ගයක් වනු ඇත.

චන්දිම අඹන්වල
2020.04.10 /01.39 PM

27. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා චිත්‍ර

ලංකාවේ දකින්න පුළුවන් තවත් කලාංගයක් ගැනයි මේ සටහන. ඔබ තන්තිරිමලේ ගියපු වෙලාවක දැකල ඇති ‘වැදි චිත්ර ගුහාව’ කියල තැනක්. ඒ තුළ සුදු පාටින් ඇඳල තියෙන කුරුටු රූප. අන්න එ වගේ නිර්මාණ ගැනයි මේ කතාව, පෙර සූදානකම් නැතිව ගල්තලය මතයි මේ කුරුටු රූප ඇදල තියෙන්නේ. ඒ නිසා මේවට ප්රාථමික ශෛලියේ ගුහා චිත්ර කියල කියනවා. වැදි චිත්ර වගේ තවත් නම් තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ සිතුවම් ඇඳල තියෙන්නේ ප්රාථමික ක්රම වගේම ශිල්ප භාවිත කරලයි. ඉන්දියාව, ඕස්ට්රෙලියාව අප්රිකාව වගේ තැන්වලින් මේ හමුවන් මේ වර්ගයේ සිතුවම් හරිම වර්ධිතයි. ඔයාලා අහල දැකල තියෙනවානේ ලැස්කොස් නැත්නම් ඇල්ටමීරා ගුහා චිත්ර. ඒ ඉහළ පුරාශිලා යුගයට අයිති යුරොපීය තැන්. හරිම ලස්සන චිත්ර.
මේ සිතුවම් ගැන අපි විශේෂ විස්තරයක් නොදැනගෙන හිටියට ලංකාවේ තැන් පනහකට වැඩිය මේ විදිහේ චිත්ර හමු වෙනවා. තැන් කීපයක නම් ලිවුවොත් කොනත්තෙගොඩගල, තන්තිරිමලේ, බිල්ලැව, දොරවක, හෙනන්නේගල, සංගමන්කන්ද, මණ්ඩාගල්ගෙ, මොලගොඩ, කිරිපොකුණ, බඹරගස්තලාව, කඳුරුපොකුණ, මහලේනම එළිය, රජගල, දිඹුලාගල, කුඩුම්බිගල, ලේනම, හැවලඑළිය, ඌරාකන්ද, හුලන්නගේ, ගොනාගොල්ල, පදවිගම්පොල, කොටියාගල වගේ නම් දක්වන්න පුලුවන්. බී.ඩි. නන්දදේව මහාචාර්යතුමා ලංකාවේ මේ සිතුවම් තියෙන තැන් 1. නැඟෙනහිර හා ගිණිකොණදිග කලාපය, 2. උතුරුමැද කලාපය හා 3. මධ්යම කඳුකර කලාපය කියල කොටස් තුනකට බෙදල තියෙනවා.
අවුරුදු සියකට වැඩි පර්යේෂණ අතීතයක් මෙම සිතුවම්වලට සම්බන්ධය. 1897 දී එච්.සී.පී. බෙල් කොනත්තගොඩගල හා අරංගොඩගල කියන තැන්වලින් ලංකාවේ ඉස්සෙල්ලම මේ වර්ගයේ සිතුවම් වාර්තා කළා. ඊට පස්සේ පී.ඊ.පී. දැරණියගල ප්රමුඛව සී.ජී. හා බී. ඉසෙඞ්. සෙලිග්මාන් යුවල, ආර්.එල්. ස්පිට්ල්සෙනරත් පරණවිතානපී.ඊ.පී. දැරණියගලඩබ්ලියු. එච්. විජේපාලඑල්.කේ. කරුණාරත්න වගේ පර්යේෂකයෝ ගණනාවක් මෙ වර්ගයේ සිතුවම් පිළිබඳ ව දිවයිනේ විවිධ ස්ථාන වලින් වාර්තා ඉදිරිපත් කළා. ත්රස්තවාදි යුද්ධෙ කාලේ මේ වැඩ නතර වෙලා තිබුනත් ඊට පස්සේ බොහොම උනන්දු තරුණ පිරිසත් මේ සිතුවම් ගැන ලියල තියෙනවා.
මේ සිතුවම් ගැන බොහොම උනන්දුවෙන් කරුණු හොයල 1986 වසරෙ දි පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් පළ කරනු ලබන Ancient Ceylon, No.6 සඟරාවට කැලණිය සරසවියේ ලලිත කලා අංයේ හිටපු මහාචාර්ය බී.ඩි. නන්දදේව මැතිතුමා සපයල තියෙන Rock Art Sites of Sri Lanka, A Catalogue කියන ලිපිය බොහොම හොඳයි. පසුව 1992 දී එතුමම ඉන්දියාවේ Rock Art in The Old World කියන පොතේ පළ කරල තියෙනවා ලිපියක් Rock Art of Sri Lanka කියන. ඊට පස්සේ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා සෑහෙන මහන්සිවෙලා කරුනු හොයල පොතක් ලියල තියෙනවා Rock Painting and Engraving Sites in Sri Lanka කියල. මේ පොතට තමා 2012 වසරේ හොඳම ශාස්ත්රීය කෘතියට හිමිවන රාජ්ය සම්මාණය හමුවුනෙත්. ලංකාවේ මේ වගේ ස්ථාන 25ක විතර තොරතුරු එක් කරල තියෙනවා මේ පොතේ.
ඇදිම (Paintings) හා සීරීම (Engravings) කියන ක්රම දෙකටම මේ සිතුවම් ඇඳල තියෙනවා. බුරුසු වගේ දේවල් භාවිත කරල සිතුවම් රූපණය කිරීමට ඇඳීම කියල කියනවා. මේ ක්රමයේ දි අගුරු, අළු, මැටි වගේ දේවල් පාට වශයෙන් යොදාගෙන තියෙනවා. පාට මිශ්ර කරන්න කෙළ, ගස්වල ලාටු, ගෙඩිවලින් ගන්නා යුෂ හා සතුන්ගේ ලේ වගේ දේවල් ගන්න ඇති. බුරුසුව අතේ ඇඟිලි. තිරුවාණා ගලක් වගේ තද උලක් භාවිතයෙන් පෘෂ්ටය කාවදින ලෙස සීරීම මඟින් සිතුවම් නිර්මාණය කිරීම තමා සීරිම කියන්නේ. දොරවකකන්ද, හක්බෙලිකන්ද, බුදුගල වගේම කන්දේගම වගේ තැන්වල මේ ක්රමයේ සිතුවම් දැකගන්න පුළුවන්. මේ සිතුවම් වල අන්තර්ගතය ගත්තත් හරි සරළයි. මිනිස් රූප, අලියා, කොටියා, මුවා, ගෝනා, බල්ලා වගේ සතුන්ගේ රූප හා ඉර හඳ වගේම හරියට පැහැදිලි කරන්න බැරි රූපත් තියෙනවා.
මේ චිත්ර ඇන්දේ ඇයිි කියල මත කීපයක් පළ වෙලා තියෙනවා. සෙලිග්මාන් යුවලගේ අදහස වුනේ මේ සිතුවම් තුළින් අභිචාරයක් පේන්නේ නෑ කියලයි. පී.ඊ.පී. දැරණියගල මැතිතුමා කියන විදිහට අලියන් දඩයම් කිරීමේ දි අනුගමණය කළ අභිචාර මේ සිතුවම් තුළින් පේනවා. තවත් කෙනෙක් කියනවා දඩයම් දර්ශනයන්ගෙන් ඒ පිළිබඳ දැනුම අනෙක් පරම්පරාවට ලබා දෙන්න ඇති කියල. එවැනි සිතුවම් වෙන රටවලදිත් ලැබෙනවා. මේ ලේඛකයාගේ අදහස නම් මේ සිතුවම් නොයෙක් හේතු නිසා අදින්න ඇතියි කියලයි. සමහර ඒවා විනෝදෙට, අත තියාගෙන ඉන්න බැරිකමටත් අදින්න ඇති.
මේ සිතුවම්වල කාලනීර්ණය ගැන ගොඩාක් අයට තියෙන්නේ වැරදි අදහස්. සමහර අය කියනවා මේවා ප්රාග් ඓතිහාසික සිතුවම් කියල. ඒත් ඒ කතාව නම් නිශ්චිතව කියන්න බෑ. පී.ඊ.පී. දැරණියගල මැතිතුමා මේ සිතුවම් ගල් යුගයට අයතියි කියලයි මුල්දි කිවුවේ. පස්සේ එතුමා මේ සිතුවම් මුල්, මධ්යම හා පසු අවදිය කියල වෙන් කරල තියෙනවා. බී.ඩි. නන්දදේව මැතිතුමා 1992 දී මේ සිතුවම් ප්රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික ආදි වශයෙන් අවදි 5කට බෙදල තියෙනවා. මේ බෙදීම කරල තියෙන්නේ ඒ සිතුවම්වල නිර්මාණ ලක්ෂණ බලල. පුරාවිද්යාත්මකව බලද්දි මේක අනුමාණයක් විතරයි. මීට වඩා විධිමත් ක්රමවේදයක් යොදාගෙන කළා නම් ඉහළින් පිළිගන්න තිබුනා.
මේ ආකාර සිතුවම් ඇඳල තියෙන බහුතරයක් තැන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවිත කළ කටාර කැපූ ලෙන්. සමහරක සෙල්ලිපිත් තියෙනවා. ඒ වගේම පැහැදිලි තොරතුරු තියෙනවා මේවා ඇන්දේ ඓතිහාසික යුගයේ හිටිය වැද්දෝ කියල. වරක් මේ ලේඛකයත් මානව විද්යා පර්යේෂක @Dayasisira Hewa Gamage මැතිතුමත් ගියා බිබිල ආසන්නයේ උස්සාගල ලෙනේ මේවැනි සිතුවම් ගැන හොයන්න. එතැන කාල කීපයක සිතුවම් තියෙනවා. එක් සිතුවමක් ඇතෙකු පිට ධාතු කරඬුවක් වඩම්මන එකක්. ඒ මහියංගන විහාර පෙරහැරේ දැක්මක් කියලයි වැඩිහිටියෝ කියන්නේ. 88-89 අවිචාර සමයේ විප්ලවකාරයෝ හැංගිල හිටිය තැනක් ලු මේක. එයාලා ඇන්ද චිත්ර කියල හිතන ඒවා තියෙනවා.
ලෝක ප්රසිද්ධ සෙලිග්මාන් යුවල ලංකාවේ වැද්දො ගැන හොයන අතර අම්පාරේ පිහිල්ලගොඩ ගල්ගේ සිතුවම් ගැනත් ලියල තියෙනවා. මේ සිතුවම්වල නිර්මාපකයන් වගේම කාලය ගැන හොයන කෙනෙකුට එතැන හිටිය වැදි වැදි ලියන් කිවුව දේ හරිම වැදගත්. වැදි පිරිමින් දඩයමේ ගියපු වෙලාවට ඒ ලියන් මේ සිතුවම් ඇන්ද කියලයි සෙලිග්මාන් යුවලට කියල තියෙන්නේ. ඔවුන් අල්ලට අළු අරගෙන කෙල එක්ක මිශ්ර කරල දකුණු අතේ දඹරඟිල්ලෙනුයි මේ සිතුවම් ඇඳල තියෙන්නේ. පිහිල්ලගොඩ ගල්ගේ සිතුවම් අතර එදිනෙදා වැඩවල නිරත කෙනෙක්ගේ රූපයක් තියෙනවා. ඒ මෙතැන හිටි වැදි නායකයා වුණු ‘හඳුනා ගේ තාත්තා කියල ඔවුන් හඳුනාගෙන තියෙනවා. මෙතැන තියෙන කකුල් හතරේ සතෙකු පිට නැගිල යන මිනිසෙකුගේ සිතුවම හදුනා මඩකලපු ගිය අවස්ථාවක සුදු මිනිසුන් අශ්වයන් මත ගමන් කරන අයුරු දැකල ඇවිත් ඇන්ද එකක්. තන්තිරිමලේ තියෙන චිත්ර ගැන ඉස්සෙල්ලම ලියල තියෙන්නේ ජෝන් ස්ටීල් මැතිතුමා. ඒ ආසන්නයේම තමා බිල්ලෑවයි ආඬියාගලයි තියෙන්නෙත්. තන්තිරිමලේ චිත්ර තමන් ඇන්දේ කියල වැද්දන් කියු බව ස්ටිල් ලියල තියෙනවා.
කරුණු ගොඩාක් නිසා ලංකාවේ මේ සිතුවම් ප්රාග් ඓතිහාසික කියල කියන්න බැහැ. ඓතිහාසික කාලෙට අයිතියි කියන්න නම් සාධක තියෙනවා. ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමාගේ අදහස මේ සිතුවම් සියල්ල ප්රාග් ඓතිහාසික නොවුනත් මේ අතර කීපයක් හෝ ප්රාග් ඓතිහාසික කාලයට අයත් වෙන්න පුළුවන් චිත්ර ඇතියි කියන එකයි. මේ ගැන ඉදිරියේ දි හොයල බලන්න ඕන. ක්රම සීමිතයි. වැල්ලවාය පැත්තේ ‘කුරුල්ලන්ගල’ සිතුවම් ගැන මේ ලේඛකයාත් ඉහළ බලාපොරොත්තු තියාන හිටියා මේ ප්රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් තැනක් විදිහට. හැබැයි දැන් කියන කතාත් එක්ක බලද්දි නම් ඒ ගැනත් අවිශ්වාසයක් තමා ඇතිවෙන්නේ.
මේ සමඟ තියෙන සිතුවම තියෙන්නේ නුවරඑළිය දිස්ත්රික්කයට අයිති ලිහිණියාගල පන්සලේ. පින්තූරේ උඩ. යට තියෙන්නේ ඒකෙන් වෙන් කරල ගත්ත රූප ටික.
චන්දිම අඹන්වල
2020.04.08 / 02.53 PM

26. ඉරණමඩු පාංශු සංකීර්ණය හා ලංකාවේ පුරාශිලා යුගය

ලංකාවේ ප්රාග් ඉතිහාසය එහෙම නැත්නම් ලංකාවේ පැරණිම ජනාවාස ගැන කතාකරද්දි හම්බවෙන වැදගත් අංශයක් ගැන කතාකරන්නයි මේ සුදානම. ඒ ඉරණමඩු පාංශු සංකීර්ණය කියල හඳුන්වන ලංකාවේ වෙරළබඩ පැතිරිලා තියෙන පස් තට්ටුවක් ගැන. මේකට පුරාවිද්යාඥයෝ ‘ඉරණමඩු පාංශු සංකීර්ණය’ (Iranamadu Formation, IFm) කියල කීවත් සමහර භූ විද්යා ලිපිවල තියෙන්නේ ‘ඉරණමඩු ශ්රේණිය’ (Iranamadu Sequence) කියලයි. සමහර අය විනෝද චාරිකා යද්දි ගිහිල්ල ඇති බූන්දල, උස්සංගොඩ හරි කුදිරමලේ තුඩුවට හරි. ඒ තැන්වල තියෙන රතුපාට නැත්නම් ගුරුපාට පස් තට්ටුව ගැනයි මේ කතාව. මහාවංසයේ තියෙනවානේ විජය කුමාරයා මේ රටට ගොඩබැහැපු වෙලාවේ අත් දෙකේ පස් ගැවීලා තඹ පාට වුණු නිසා ‘තම්බපණ්ණි’ කියල තම තිබ්බා කියලා. ඉතිං මේ ගොඩබැසීම කරන්න ඇත්තේ කුදිරමලේ ආසන්න තැනකට වෙන්න ඕන කියන එකයි මේ ලේඛකයාගේ අදහස. විජය කුමාරයා ගොඩබහින්න ඇත්තේ මේ පස්තට්ටුවට. එකනේ වෙරළේ තිබුණු තඹ පාට අත්වල ගෑවුනා කියන්නේ.
සැලකිය යුතු ප්රදේශයක පැතිරිලා තියෙන මේ පස් තට්ටුව ගැන ඉස්ඉස්සෙල්ලම අවධානය යොමු කළේ ලංකාවේ හිටිය මුල් කාලීන භූ විද්යාඥයෙක් වුණු ඊ.ජේ. වේලන්ඩ් (E.J. Wayland) මැතිතුමා. මෙතුමා 1919 දි කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් පළ කළ Spolia Zeylanica සඟරාවේ XI කලාපයේ 41 වැනි කොටසේ ලිපියක් පළ කරල තියෙනවා outline of the Stone ages of Ceylon කියල. ඒ ලිපියේ මේ ගැන කියල තියෙනවා. මේ ලේඛකයාට දැනෙන විදිහට අපේ ප්රාග් ඉතිහාසය හිනිපෙත්තටම ඔසවල තිබ්බ ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමාට බොහෝම බලපාල තියෙනවා මේ වේලන්ඩ්ගේ වැඩ. මේ පස් තැම්පතුවට මේ නම තිබ්බෙත් වේලන්ඩ්ම තමා. මේ පස් තට්ටුව තියෙන්නේ ඉරණමඩුවල විතරක් නෙවි. පුරාවිද්යාවේ සම්ප්රදායක් තියෙනවා යමක් ඉස්සෙල්ලම හමුවුණ තැන අනුව නම තියන. බලංගොඩ මානවයා කියන්නේ බලංගොඩ විතරක් හිටපු කෙනෙක් නෙවෙයි. ලංකාව පුරාම ඉදල තියෙනවා. නමුත් ඉස්සෙල්ලම ලැබුණු තැන නම තමා තියල තියෙන්නේ. අර දැරණියගල මැතිතුමාගේ Prehistory of Sri Lanka කියන පොතේ මේ පස් තට්ටුවයි ඒකේ කළ පුරාවිද්යා වැඩ ගැනයි ලියල තියෙනවා.
මේ වැටියේ තියෙන අමුතු බව නිසා විවිධ කතා හැදිල තියෙනවා. සමහර අය මේ ගැන දැන් දැන් අලුත් කතාත් හඳනවා. ඒ නිසා අපි බලමු මේ පස් තට්ටුවේ කතාව මොකක්ද කියල. භූ විද්යාවේ දි කාලයක් ගැන කතාවෙනවා චාතුර්ථික අවධිය කියල. මේ කාලේ ගැන තොරතුරු සපයන අර්ධ ශුෂ්ක කලාපයේ වෙරළබඩ පැතිරිලා තියෙන වැලි නැත්නම් බොරළු තට්ටුවක් තමා මේ. මේ වැලි භූගත ජීර්ණයට ලක් වෙලා තද රතු පාටේ ඉදල හුඹස් මැටි රතුපාට වෙනකල් මේ වැලි තට්ටුවේ පාට. බලන්න ලස්සනයි. මේ තට්ටුව එළියොනයිට් වශයෙන් දිරා ගියපු පැරණි වෙරළබඩ වැළිකඳු ලෙයසි සැලකෙන්නේ. ෆෙල්ඩ්ස්පාර්, ඇම්ෆිබෝල්ට්ස්, ෆයිරොක්සීන් වගේම ගා(ර්)නට් කියන සංඝටක මිශ්ර වෙලා තියෙන හින්දයි මේ පාට වෙලා තියෙන්නේ.
මේ වැලි තට්ටුව ලංකාවේ වයඹදිග හා උතුරුදිග වෙරළබඩ කලාපයේ වගේ ම ගිණිකොණදිග හා දකුණුදිග කලාපවලයි විහිදිල තියෙන්නේ. එහෙම නැත්නම් පල්ලම ඉදල පුල්මඩුව දක්වාත්, අම්බලන්තොට ඉදල පොතුවිල්-කෝමාරි දක්වාත් තමයි පැතිරිලා තියෙන්නේ. අපි සමහර විට යන තැන්වලත් මේ පස් තට්ටුව තියෙනවා. නැවත ගියොත් බලන්න පුළුවන් නිසා සටහන් කරන්නම්. උතුරු ප්රදේශයේ මාන්කුලම්, ඉරණමඩු, අලිමංකඩ, කොකාවිල්, ඕලුමඩු, තුනුක්කායි, පූනකරි, පරන්තන්, පුදුකුඩුඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, නැදුන්කර්නි, පුලියන්කුලම් වගේ තැන්වලත් වයඹදිග පැත්තේ තිියෙන විල්පත්තු, පොම්පරිප්පු, මුල්ලිකුලම්, සිලාවතුර, මුරුන්කන්, මඩු, වනාතවිල්ල, පුලියන්කුලම්, තබ්බෝව, කල්ලඩි, බංගදෙණිය, පල්ලම, ආඬිගම, ආණමඩුව කියන පැතිවලත් දැකගන්න පුුළුවන්. දකුණු හා ගිණිකොණදිග කලාපයේ බූන්දල, යාල, මිනිහාගල්කන්ද, ඔකද, පානම, පොතුවිල්, තෙළුල, තිස්සමහාරාමය, හම්බන්තොට, අම්බලන්තොට, හුංගම, රන්න, තංගල්ල, අඟුණකොළපැලැස්ස, ඇඹිලිපිටිය වගේ තැන්වලත් මේ වැලි තට්ටුව බලන්න පුළුවන්. මේ හා සමාන පාංශු සංකීර්ණයක් ඉන්දියාවෙ වෙරලබඩත් තියෙනවා. ඉන්දියානු අර්ධද්වීපයේ නැඟෙනහිර හා බටහිර පැත්තට පහළම මුහුද අයිනේ. ඒවට ටෙරි ක්ෂේත්ර (Teri sites) කියලයි කියන්නේ.
මේ පාංශු කලාපය හරිම විශේෂයි. රටේ වෙරළබඩනේ පිහිටල තියෙන්නෙත්. ඒ නිසා ප්රාග් ඓතිහාසික මිනිස්සු ගැන විස්තර මේ තුළ තියෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. ප්රාග් ඓතිහාසික මිනිස්සු මුහුදට ගොඩක් ආස වෙලා තියෙනවා. දැන් වුනත් අපි කොච්චර ආසද මුහුදට නේද? මුහුද දිහා කොච්චර බලාන හිටියත් එපා වෙන්නේ නෑනේ. 1972 දි ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා මේ ඉරණමඩු සංකීර්ණය ගැව හොයාබලන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ තැන් 50ක් විශේෂ අවධානයට ලක් කළා. දළ වශයෙන් ගත්තොත් අදින් අවුරුදු 125,000කට නැත්නම් 250,000 විතර දක්වා කාලයේ මේ දූපතේ පැවති පරිසර තත්ත්වය වගේම පැරණිම ගල් යුගය පිළිබඳ විධිමත් අදහසක් ඇතිකර ගන්න මේ මඟින් පුළුවන් වුනා.
අවුරුදු 125,000කට විතර ඉස්සෙල්ල ලංකාවේ ප්රාග් ඓතිහාසික ජනාවාස තිබුණ කියෙන එක ඉස්සෙල්ලම මේ කැනිම් අනුව තහවුරු වුනා. ඒ බූන්දල වෙරළේ කළ පුරාවිද්යා කැනීම් මඟින්. ගවේෂණයෙන් පෙනී ගිය සාධක මත ඉරණමඩු පාංශු සංකීර්ණයට අයිති බූන්දල පිහිටි ස්ථාන දෙකක් වුණු වැල්ලේගංගොඩ (49C) හා පතිරාජවෙළ (50A) කියන ස්ථාන කැනීම් සඳහා තොරගත්තා. ඒ කැනීම් ගැන ඉතාම කෙටියෙන් හරි කිවුවේ නැත්නම් මේ සටහන අසම්පූර්ණයි.
බූන්දල වැල්ලේගංගොඩ කියන ස්ථානයේ බොරළු තට්ටුව දැන් මුහුදු මට්ටමට වඩා ආසන්නව මීටර් 8ක් උසින් පිහිටලා තියෙන්නේ. මීටර් 4ක් විතර ඝණකම් වැලි තට්ටුවකින් වැහිල. මෙතන කළ කැනීමෙන් මිනිසුන් ජීවත් වූ බවට සාධක ලැබුනා. පතුලේ බොරළු තට්ටුවෙන් හමු වූණු ගල් මෙවළම් වයසත් එක්ක දිරාල හින්ද රූපීය විශේෂතා හඳුනාගන්න අමාරුයි. ඒත් ඒවා ප්රාග් ඓතිහාසික මිනිස්සු හදපු ගල් මෙවලම් කියන එක ගැන නම් සැකයක් නැහැ. බූන්දල පතිරාජවෙළ කියන්නේ කැනීම් කළ දෙ වැනි තැන. මෙතන පතුලේ බොරළු තට්ටුව වර්තමාන මුහුදු මට්ටමට වඩා මීටර් 15ක් පමණ උසයි. මේ බොරළු තට්ටුව අවුරුදු 125,000ක් විතර පරණ වෙන්න ඕන කියලයි තක්සේරු කරල තියෙන්නේ. කැනීම් මඟින් ඒ කාලෙටම නැත්නම් පුරාශිලා යුගයට අයිති වෙන්න ඕන කියල තක්සේරු කළ ගල් ආයුධ ලැබිලා. ඉන්දියාවේ භෞතික විද්යා පර්යේෂණාගාරයේ ආචාර්ය සිංග්වි (A.K. Singhvi) මැතිතුමා බොරළු වලට උඩින් තැම්පත් වෙලා තියෙන වැලි තට්ටුව තාපසම්දිප්තතා කියන කාලනීර්ණය ක්රමය අනුව කාලනීර්ණය කරල තියෙනවා. ඒ අනුව වසර 74,000-64,000 කාලයට අයති බවටයි තහවුරු වෙලා තියෙන්නේ. මේ බොරළු තට්ටුවෙන් ගල් මෙවලම් ලැබිලා. ඒ අතර ජ්යාමිතික නොවන තිරුවාණා ක්ෂුද්රශිලා මෙවලමුත් තියෙනවා. පසුගිය වසර 28,000 තුළ මීටරයකට වසර 3,500 බැඟින් ගණනය කළහම මේ තැම්පතු අවුරුදු ලක්ෂ 5ක් විතර දක්වා ඇත කාලෙකට ගමන් කරන්න පුළුවන් කියල ගණන් බලල තියෙනවා. මෙිවා ඉතිං ඉදිරියේ දි කරන්න ඕන වැඩ.
බූන්දල පතිරාජවෙල කුඩා පතුරු මෙවලම් මෑත පූර්ව 125,000-75,000ටත් වැල්ලේගංගොඩ මෙවළම් ආසන්න වශයෙන් මෑත පූර්ව 80,000 කාලයටත් අයිති බව කාලනීර්ණ අනුව පෙන්නලා දීල තියෙනවා. මේ ගල් ආයුධ හැර ආහාරයට ගත්ත දේවල් හෝ වෙනත් කිසිම දෙයක් ඉතිරි වෙලා නැති බවයි පේන්නේ. හේතුව වැසි දේශගුන තත්ත්වය නිසා දිරල යනවනේ. හැබැයි ඉදිරියේ දි වර්ධනය වුණු ක්රමවලින් සමහර විට ඒ වගේ සාධක එක් කරන්න පුළුවන් වේවි.
මේ පාංශු සැකැස්මේ සිදුකළ හොයාබැලීම් එක්ක අඩුම තරමින් අන්තිම අවුරුදු ලක්ෂ කීපයේ උෂ්ණ අවධිවල වර්ෂාපතනය වැඩි තෙත් දේශගුණයක් වගේම සීතල කාලවල වියළි දේශගුණ ස්වභාවයක් තිබුණු බවත් පැහැදිළි වෙලා තියෙනවා. මේ ප්රදේශවල හිටපු පැරණි මිනිස්සු මධ්යම පුරාශිලා යුගයට අයිති තිරුවාණා හා කහඳ ගල් මෙවලම් නිපදවලා තියෙනවා.
‍‍
මේ සමඟ අමුණා තියෙන රූපයෙන් පෙන්වන්නේ බූන්දල මුහුද අයිනේ දර්ශනයක්.
චන්දිම අඹන්වල
2020.04.07 / 11.30 AM

25. වරකාපොල, දොරවකකන්ද ඇතුබැඳි ලෙන

අපේ් සටහන් මාලාව 25 වැන්නටත් ඇවිත්. මටත් සතුටක් තියෙනවා, ඇඳිරි නීතිය අස්සේ දන්න දේවල් වලින් ටිකක් හෝ අනෙක් අය සමඟ බෙදාගන්න ලැබීම ගැන. මේ සටහනින් ලියන්න යන්නේ ලංකාවේ ප්රාග් ඓතිහාසික සාධක ලැබුණු ගල්ලෙනක් ගැනයි, එතුළ සිදුකළ කැනිමක් ගැනයි. තැන කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල, ඒබිදිගල ගමේ දොරවක කන්දේ තියෙන ඇතුබැඳිලෙන. රබර් වත්තක් මැදයි මේ ලෙන තියෙන්නේ.

1991 වසරේ දි මේ ස්ථානයේ විධිමත් විදිහට කැනීම් කළේ පසු කලෙක පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් වුණු ආචාර්ය ඩබ්ලියු.එච්. විජයපාල මැතිතුමා. මේ ගැන සම්පූර්ණ වාර්තාව එතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධයට ඇතුළු කරල තියෙනවා. New Light On The Prehistory Of Sri Lanka; In The Context of Recent Investigations at Cave Sites කියන මාතෘකාව යටතේ 1997 අවුරුද්දේ පේරාදෙණිය විශ්වවිද්යාලයට භාර දීල තියෙන්නේ. මුද්රණය වෙලා තැනි එක තමයි කණගාටුව.

ලෙනේ ඇතුළේ වපසරිය ආසන්න වශයෙන් වර්ග මීටර් 50ක් පමණ. මේක ලෙනක් කිවුවට ලෙනක්ම නෙමෙයි. ගල් දෙකක් හේත්තු වෙලා හැදුණු ගල් දෙබොක්කක්. වර්ග මීටර් 1කේ කොටු අනුවයි මේ කැනිම කරල තියෙන්නේ. සෙන්ටිමීටර් 5ක විතර තට්ටු විදිහට පස් ඉවත් කරල. මේකට කියනවා ‘ප්ලානම් ක්රමය’ නැත්නම් ‘කෘත්රීම පස් තට්ටු ක්රමය’ කියල. මේ කැනීමේ ප්රධාන පස් තට්ටු XIIක් හඳුනාගෙන තියෙනවා. යටම පිහිටි ගල , ඉදල ඉහළටයි නම් කරල තියෙන්නේ. මේ පස් තට්ටුවලින් ගල් මෙවළම්, මැටි බදුන් කෑලි, ධාන්ය, කැකුණ ඇට, අඟුරු වගේම දැන් ඉන්න සතුන්ගේ කොටස් ආදි නොයෙක් දේ හමුවෙලා තියෙනවා. පහළම පස් තට්ටු තුනෙන් දළ, රතු-දුඹුරු මැටි බඳුන් කොටස්, ගල් ආයුධ හා ධාන්ය හමු වෙලා, ඒවා ක්රිස්තු පූර්ව 2,500ට විතර කාලනීර්ණය වෙලා. මෙමඟින් පශ්චාත් මෙසෝලිිතක තත්වයක් (a post-mesolithic condition) නිරූපණය වෙනවා කියලයි විජේපාල මැතිතුමා කියන්නේ. ඇයි ධානය භාවිතය ගැන සාධක තියෙනවානේ.

දෙ වැනි පස් තට්ටුවේ ඉදල ඉහළට හැම පස් තට්ටුවකම තැළුම් හා ඇඹරුම් ගල් හමු වෙලා. තුන් වැනි පස් තට්ටුවේ පතුරු ඉවත් කළ කුඩා මෙවළම් බොහොම අඩුයි. ඒ වගේම තැළුම් මෙවළම්, ඇඹරුම් මෙවළම්, හර මෙවළම් හා කැපුම් මෙවළමුත් ලැබිල. ඒ තත්ත්වය හැම පස් තට්ටුවකටම පොදුයි කියලයි කියන්නේ. මේ කැනීමෙන් සතුන්ගේ ඇටකටුවලින් හදපු මෙවළම් හමු නොවීමත් වැදගත් කරුණක්. නමුත් තෙත් කලාපයටම අයිති කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, බුලත්සිංහල ෆා-හියන් ලෙන වගේම අත්තනගල්ල පොත්ගුල්ලෙන කියන ඒවයේ ගල් ආයුධ, සතුන්ගේ අවශේෂ සමඟ අස්ථි මෙවළම් හමු වෙලා තියෙනවා. මේ විදිහට සතුන්ගේ ඇටකටුවලින් සැදු නිර්මාණ අඩු වෙන්න හේතුව බලංගොඩ මානවයා කළා වගේ මේ ලෙනේ හිටි මිනිස්සු සතුන් මැරීමෙන් දිවිපෙවෙත සරිකර නොගැනීම විය හැකි බව විජේපාල මැතිතුමාගේ අදහසයි.

දොරවක ලෙනේ සෑම ජනාවාස පස් තට්ටුවකින්ම ධාන්ය හමු වීමත් වැදගත් දෙයක්. මේ දක්වා කළ වෙනත් ලෙන් කැනීමකින් ධාන්ය වර්ග හමු වෙලා නැහැ. මේ ධාන්ය ගැන හොයල බලන්න ඉන්දියාවේ ඉදල ආපු ශාක විශේෂඥ ආචාර්ය ඇම්.ඩි. කජාලේ මැතිතුමා සම්බන්ධ වුනා. එතුමා මේ ධාන්ය කැලෑ කුරක්කන් වර්ගයක් බව හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අදින් වසර 4,500කට පෙර මේ ගුහාවේ හිටපු මිනිස්සු ධාන්ය රැස් කරල ආහාරයට ගත්ත කියන එක ද?

ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික කාලෙට අයිති පස්තට්ටු තුළින් මැටි බඳුන් වාර්තා වූ ප්රධාන අවස්ථාවත් මේ කැනීම කියලයි කියන්නේ. ගල් ආයුධ, ධාන්ය, අඟුරු හා කැකුණ ඇට වගේ වෙනත් ද්රව්ය සමඟයි මේ මැටිබඳුන් කෑලි හමුවෙන්නේ. ප්රමාණයෙන් විශාල ගල් මෙවළම් සමඟ මැටිබඳුන් හමු වීමත් කැපී පෙනෙන දෙයක්. මේ මැටි බඳුන් අතර විශාල ප්රමාණයක් රතුපාට මෙවළම් (red ware) හා කළු-රතු පාට මෙවළම් (black and red ware) තිබිල තියෙනවා. සකපුවරුව භාවිත නොකර අතින් හදපු බවටයි හඳුනගෙන තියෙන්නේ. මෙම මැටිබඳුන් හමු වු අංක III පස් තට්ටුව අදින් වසර 4,550+/-70 කාලයට කාලනීර්ණය කරල තියෙන්නේ කාබන් 14 ක්රමයට. කැනීම් වළේ පහළින්ම ගල් ආයුධයි මැටි බඳුනුයි එකට හමු වුන නිසා මේ මධ්යශිලා යුගයේ පසු කාලීන තත්ත්වයක් පෙන්නනවා කියන එකයි විජේපාල මැතිතුමාගේ අදහස.

ලංකාවේ ප්රාථමික ශෛලියේ ගුහා සිතුවම් ගැන කතාකරද්දි මෙම ගුහාව ගැන කතා නොකර බැහැ. ඒ ගුහාවේ තියෙන රූ සටහන් නිසා. ඒ අතර තියෙන ‘ඇතින්න හා පැටවා’ කියන සිතුවම බොහොම ප්රසිද්ධයි. මේ සිතුවම් ගැන පළමු වරට 1919 දි ජී.එෆ්.ආර්. බ්රොනින් (G.F.R. Browning) සඳහන් කරල තියෙනවා. ඊට පස්සේ ආචාර්ය පි.ඊ.පී. දැරණියගල මැතිතුමත් මෙතනට ඇවිත් තියෙනවා. සීරිමෙන් නිර්මාණය කරන ලද සිතුවම් 52ක් මෙම ලෙනේ බිත්තියේ දැකගන්න පුළුවන්. මෙයින් කොටසක් කැනීමට පෙරත් අනෙක් සිතුවම් කැනීමෙන් පසුත් දැකගන්න පුළුවන් වුනේ. ඉර, හඳ, සත්ව රූප, ඊතලය වගේ කුරුටු රූපත් හරියට නිශ්චය කරන්න බැරි රූපත් මෙතන තියෙනවා. පහළ සිට ක්රමයෙන් ඉහළට යද්දි සිතුවම්වල වර්ධනයක් පේන්න තියෙනවා. කෑගල්ලේ, ඌරාකන්ද ගල්පියැස්සේ සිතුවම් මෙම සිතුවම් හා සමාන බවයි කියන්නේ. කාබන් 14 කාලනීර්ණය අනුව අදින් වසර 1,900-2,000 අතර කාලයට අයත් කියල දැනගත්ත අංක IV පස් තට්ටුවට සමාන්තරවයි පහළම මට්ටමේ සිතුවම් තිබිල තියෙන්නේ. කාලය අනුව මෙම සිතුවම් පූර්ව ඓතිහාසින හෝ මූල ඓතිහාසික අවධියේ පහළම කාලෙට අයිති බවයි පෙනෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ප්රාථමික ශෛලියේ සිතුවම් අතර මේ දක්වා කාලනීර්ණය කරන්න පුළුවන් වුණු එකම සිතුවම් තියෙන්නේ මෙතන.

දොරවකකන්දේ පහළ ජනාවාස මට්ටම්වලින් සංක්රාන්ති කාලයක් පිළිබඳ සාධක අනාවරණය වෙනව කියලයි විජේපාල මැතිතුමා කියන්නේ. ඒ කියන්නේ මධ්යශිලා යුගයේ හිටපු මිනිස්සු නවශිලා යුගය දෙසට ගමන් කළ බව පෙන්නුම් කරනවා.

මෙ ස්ථානය ලංකාවේ මිනිස්සුන්ගේ අතීතය හදාරද්දි ඉතාම වැදගත් තැනක් බව ආයෙත් කියන්න ඕනකමක් නෑනේ. නමුත් මේ තියෙන කරුණුවල නිවැරදි බව නැවත එතැන විධිමත් ආකාරයට කැනීම් කරල තහවුරු කරගන්න ඕන. තවත් තැන්වලින් සාධක හමුවෙන්න ඕන. ඒකයි පුරාවිද්යාවේ ක්රමය. එක තැනකින් විතරක් ලැබුණ කියල පිලිගන්න අමාරුයි. හැබැයි මේ හා සමාන තත්ත්ව මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා කළ කැනීම් ස්ථාන කීපයකින් වාර්තා වුණා කියල කියනවා. නමුත් මේ ලේඛකයා ඒ ගැන හරියට දැනුවත් නෑ.

ඉතිං ලංකාවේ අපේ මේ නොනගත කාලේ ගැන හොයල බලන වගකීම වැඩියෙන් තියෙන්නේ දැන් පුරාවිද්යාව ඉගෙන ගන්න අයට කියලත් කියන්න ඕන.මේ සමඟ අමුණලා තියෙන රූපෙන් පේන්නේ දොරවක ලෙනේ ඉදිරිපස පෙනුම. පොඩියට තියෙන්නේ ඇතින්න හා පැටවා කියල හඳුන්වන කුරුටු රූපේ.

චන්දිම අඹන්වල

2020.04.06 / 12.10 PM

24. අභිලේඛන විද්‍යාව, පුරා අක්‍ෂර විද්‍යාව හා සෙල්ලිපි

මේ සටහන ගොඩාක් අය දන්න දෙයක් ගැන. නමුත් මේ කෙටි සටහන් මාලාවට මේ සටහනත් අවශ්යමයි කියල මට හිතෙන නිසා ලියන්නේ. ඒ අභිලේඛන විද්යාව, පුරා අක්ෂර විද්යාව හා සෙල්ලිපි ගැන. මේ සමූහයේ සෙල්ලිපි හා වෙනත් පැරණි ලේඛන ගැන සෑහෙන කතාකරනවනේ. ඒ හින්දත් එක්ක බලමු මේ මොනවාද කියලා.

අභිලේඛනයක් කියන්නේ සරළව ගත්තොත් යම්කිසි මතුපිටක සටහන් කරන ලද, කුරුටු ගාන ලද දෙයක්. එච්චරයි. සරළයි. ඒ කියන්නේ ලීයක, රෙද්දක, කඩදාසියක, ගලක ඇත් දළක, බෙල්ලෙක්ගේ කටුවක, ගහක කොළයක නැත්නම් පොත්තක හෝ මැටි බඳුනක වගේ කුරුටු ගාපු, සටහන් කරපු දේවල්. ඒ වගේ ඒවට අපි කියනවා ලේඛන කියල. මේ විදිහට අකුරු නැත්නම් කුරුටු රූප වගේ දේවල් සටහන් කරල තියෙන්න පුළුවන්. මේ විදිහට යම් මතුපිටක සටහන් කරල තියෙන දේවල් ගැන හොයනබලන එක තමා අභිලේඛන විද්යාව (epigraphy) කියන්නේ. හැබැයි මේ විෂයේ දි අවධානය යොමු කරන්නේ අවුරුදු සීයට වඩා පැරණි ලේඛන (inscription) ගැන. ඒ වගේ පරණ ලියැවිලිවල ඇතුළත් වෙලා තියෙන දේවල් වගේම ඉස්සර හිටපු මිනිස්සු ගැන අවබෝධ කරගන්න යොදා ගන්න එකයි තමා මේ විෂයේ දි කරන්නේ. භාෂාවේ ඉතිහාසය හදාරණ අය මේක සහායක විෂයක් විදිහට හදාරනව. ඉතිහාසය පුරාවිද්යාව කරන අය තමන්ගේ විෂයන්වල මූලාශ්රය කොටසක් නිසා හදාරනවා. ලංකාවේ මේ විෂය ගැන උනන්දුව ඇතිවෙලා තියෙන්නේ ක්රිස්තු වර්ෂයෙන් 1850 පහුවෙන කොට වගේ. ලංකාවේ අභිලේඛන ගැන හොයන්න ඉස්ඉස්සෙල්ලම රජයෙන් පත්කළ නිළධාරියා පී. ගෝල්ඩ් ස්මිත්. ඉංග්රීසි ආණ්ඩුවෙන් මෙතුමා පත් කරල තියෙන්නේ 1874 දි. ඊට පස්සේ පත් කරපු එඩ්වර්ඩ් මුලර් මැතිතුමා තමා ලංකාවේ අභිලේඛන පිළිබඳ පළමු වැනි පොත ප්රකාශයට පත් කරන්නේ. ඒ 1883 දී Ancient Inscriptions of Ceylon කියන පොත. ප්රධාන පුස්තකාලවල තියෙනවා.

අභිලේඛන විද්යාව කියන විෂයත් එක්ක සමගාමීව යන විෂයක් තමා ‘පුරා අක්ෂර විද්යාව’ (palaeography) කියල කියන්නේ. මේ විෂයේ දි කරන්නේ පැරණි අකුරු ගැනයි, අකුරු පද්ධති ගැනයි හොයන එක. ඒ කියන්නේ පරණ ලේඛනවල තියෙන අකුරුවල හැඩය, විශාලත්වය, ස්වභාවය, අකුරේ ගැඹුර වගේ නොයෙක් දේවල්. ඒ වගේම අකුරු තැනින්තැනට, කාලෙන්කාලෙට වෙනස්වන හැටි ගැනත් මේ විෂයේ දි හොයනවා. මීට අවුරුදු 2,300කට එහා ලිවුව පූර්ව බ්රාහ්මි අකුරුවලින් වර්ධනය වෙලා ආපු අකුරු පද්ධතියක්නේ අපි මේ කියවන සිංහල අකුරු. අවුරුදු 2,000කට වැඩි කාලයේ මේ අකුරුවල සිදුවුනු වෙනස්කම් ගැන මේ විෂයේ දි අධ්යයනය කරනවා. මේ ගැන ලංකාවේ විවිධ පඬිවරු ලියල තියෙනවා. මහාචාර්ය බන්දුසේන ගුණසේකර මැතිතුමා සිංහල බසින්ම සරළව මේ ගැන ලියපු පොත් හොයාගන්න පුළුවන්. අකුරුවල වර්ධනය වගේම වෙනස්වුණු ආකාරය දැනගන්න නම් මේ විෂය ගැන අවබෝධයක් ගන්න ඕන. ඒ දැනීමෙන් තමා ඒ අකුරු අයිති කාලය මොකක්ද කියල කියන්න පුළුවන් වෙන්නේ. දළ වශයෙන් අවුරුදු සියයක විතර කාලයක තියෙන්නේ එක වගේ අකුරු. පරම්පරා තුනක් විතර යද්දි ඒ අකුරුවල හැඩය වෙනස් වෙනවා. මේ විෂය පිළිබඳ සෑහෙන අවබෝධයක් තියෙන කෙනෙකුට පුළුවන් පැරණි ලේඛනයක් නැත්නම් සෙල්ලිපියක් දැක්කහම ඒක අයිති මොන කාලෙට ද කියල තීරණයට එන්න. ඇත්ත ලිපි අතුරින් බොරු ලිපි වෙන්කරල ගන්න.

සාමාන්ය අය නම් බැරියැ, මේ විෂය ඉගෙන ගන්න අය පවා පටලගන්න දෙයක් තියෙනවා. ඒ අභිලේඛන හා සෙල්ලිපි කියන දෙක. කලින් කිවුවනේ ඕනැම මතුපිටක ලිවුව පැරණි ලේඛන අභිලේඛන කියල. හැබැයි සෙල්ලිපියක් කියන්නේ ගලක් මතුපිට සටහන් කරන ලද ලේඛනයකට. ඒ අනුව ඕනෑම සෙල්ලිපියක් අභිලේඛනයක්, හැබැයි ඕනෑම අභිලේඛනයක් සෙල්ලිපියක් වෙන්නේ නෑ. අභිලේඛන වර්ග ගොඩයි. ගල්ලිපි, තලපත්, පුස්කොල, ඇත්දල ලිපි, මැටිපුවරු ලිපි, රෙදිමත ලියු ලිපි, ලී මත ලියු ලිපි ආදි වශයෙන් වර්ග ගොඩක් තියෙනවා.

ලක්දිව සෙල්ලිපි කියන පොතේ දි පූජ් හිමිපාණන් වහන්සේ මේ සෙල්ලිපි ඒවා ලියල තියෙන තැන අනුව නැවත වර්ග කීපයකට බෙදල තියෙනවා. ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි හා වෙනත් ලිපි කියල. ගල්ලෙන්වල එහෙම නැත්නම් ගල්ලෙන්වල ඇතුළට වැසිවතුර එන එක වලක්වන්න කපල තියෙන කටාරයට පහළින් හෝ ඉහළින් හෝ ලෙණ තුළ සටහන් කරල තියෙන ලිපි, ලෙන් ලිපි. මිහින්තලේ, සිතුල්පවුව වගේ තැන්වල මේ ලිපි බහුලයි. ලංකාව පුරා මේ වගේ ලිපි 3,000ක්වත් ඇති අඩුතරමින්. තවම අනාවරණය නෙවුණු ඒවාත් තියෙනවා. බොහෝ විට පරණම ලිපි තමා මේ විදිහට සටහන් කරල තියෙන්නේ. දැන් දැන් සමහර අය ඉතාම අවියත් ආකාරයට විකෘති කරන්නේ මේ ලිපි. ගලක් මතුපිට සටහන් කරල තියෙන ලිපි ගිරි ලිපි කියල හඳුන්වනවා. ක්රිස්තු වර්ෂය ආරම්භ වුණු කාලේ තමයි මේ ලිපි ගොඩක්. ටැම් ලිපි කියල කියන්නේ ලිපිය සටහන් කරන්න විශේෂයෙන් සකස් කළ හෝ වෙනත් අරමුණකට පිහිට වූ කණුවක සටහන් කරන ලද ලිපියක්. සාමාන්යයෙන් ක්රිස්තු වර්ෂ 9-12 සියවස් අතරේ මේ ටැම් ලිපි බහුලයි. ගල් පුවරුවක සටහන් කළ ලිපි පුවරු ලිපි කියනවා. ඒ වර්ග හතරටම අයිත් නොවන ලිපි වෙනත් ලිපි කියල කියන්න පුළුවන්. අනුරාධපුරේ මහාපාළි දානශාලාවේ බත් ඔරුවේ සටහන් කරල තියෙන ලිපිය උදාහරණයකට ගන්න පුළුවන් කියන එකයි මේ ලියුම්කරුගේ අදහස.

මේ කාරණෙත් කිවුවේ නැත්නම් අඩුවක්. ලංකාවේ පැරණි ලියවිලි ගැන ප්රකාශන දෙකක් නිල වශයෙන්ම තියෙනවා. පළමු වැනි එක තමයි Epigraphia Zeyalanica කියන පොත. 1912 තමයි ඉස්සෙල්ලම පළ වුනේ. දැන් මං හිතන්නේ කලාය 9ක් විතර පළ වෙලා තියෙනවා. ඩි.එම්.ඩි. ඉසෙඞ් වික්රමසිංහමහාචාර්ය සෙනරත් පරණවිතානආචාර්ය චාල්ස් ගොඩකුඹුරේජයන්ත උඩුවරආචාර්ය සද්ධාමංගල කරුණාරත්න හා ආචාර්ය මාලිනි ඩයස් වගේ විද්වතුන් මේ කෘතියේ සංස්කාරකවරු විදිහට ඉදල තියෙනවා. ලංකාවේ අභිලේඛන හමුවන විදිහට මේ පොත් ඵල කරල තියෙන්නේ. ලංකාවේ සෙල්ලිපි කාල පිළිවෙලකට සකසලා පළ කිරීම තමා Inscriptions of Ceylon කෘති මාලාවේ අරමුණ. මේ මාලාව පොත් 10කට සැලසුම් කරල තියෙන්නේ. 1970 වසරේ තමයි මේ පොත් පෙළ ආරම්භ වුනේ. දැනට 1, 2, 5 හා 8 වගේ කාණ්ඩ කීපයක් පමණයි පළ වෙලා තියෙන්නේ. මහාචාර්ය සෙනරත් පරණවිතානමහාචාර්ය සිරිමල් රණවැල්ල හා මහාචාර්ය මැන්දිස් රෝහණධීර කියන විද්වතුන් ඒ ඒ කාණ්ඩ සංස්කරණය කරල තියෙනවා. මේ කිවුව කෘති මාලා දෙකම පළකිරීමේ වගකීම තියෙන්නේ ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවට.

අභිලේඛන නැත්නම් පරණ සටහන් තියෙනවද නැද්ද කියන එක මතනේ ඉතිහාසය හා ප්රාග් ඉතිහාසය කියන බෙදීම එන්නෙත් නේද? අපි මේව කලින් සටහන් වලින් කතාකරල තියෙන්නේ. මේ ලේඛකයාට දැනෙන විදිහට නම් පුරාවිද්යා මූලාශ්රයත් එක්ක බලද්දි ඉතිහාස නැත්නම් ලේඛන මූලාශ්රයවල තියෙන විශ්වාසනීය බව නැත්නම් ඉතිහාස තොරතුරු අනාවරණය කිරීමේ දි තියෙන ශිතිලතාව වැඩියි. ඇයි එහෙම කියන්නේ කියල කෙනෙක් අහන්න පුළුවන්. පුරාකෘති කියන ඒවගේ අර්ථය අපි අද්දැකල නෑ බොහෝ විට. සෑම විටකම පාහේ ඒවාට තියෙන්නේ පුරාවිද්යාඥයා දෙන අර්ථකතනයක්. නමුත් ලේඛන මූලාශ්රය ඒ තුළින්ම අර්ථ ගැන්වෙනවා. අපි පරෙස්සම්සහගත වෙන්න ඕන ලිඛිත මූලාශ්රයේ තියෙන සත්යබව ගැන විතරයි.

මේ සමඟ දක්වල තියෙන්නේ මිහින්තලේ තියෙන, IV වැනි මිහිඳු රජතුමා විසින් කරවල ලද මිහින්තලේ පුවරු ලිපි දෙක. මිහින්තලේ විහාර පාලනය කළ යුතු ආකාරය ගැනයි මේ ලිපියේ අන්තර්ගත වෙලා තියෙන්න.

චන්දිම අඹන්වල

2020.04.05 / 11.45 AM

23. ලංකාවේ මහාශිලා සම්ප්‍රදාය


ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට අඩු අවබෝධයක් තියෙන මාතෘකාවක් ගැනයි මේ කෙටි සටහනින් කතා කරන්නේ. ඒ මහාශිලා නැත්නම් Megalithic කියන එකයි. ‘විශාල’ හා ‘ගල්’ කියන වචන දෙක එකතු වෙලා තමා මේ වචනය හැදිල තියෙන්නේ. එතකොට මහා විශාල ගල් නිර්මාණ ගැනයි මේ කතාව.

මුළින්ම කියන්න ඕන මේ මහාශිලා කියන්නේ සංස්කෘතියක් නෙවෙයි, සම්ප්රදායක් පමණයි. එක කාලෙකට සීමා වෙලා තියෙනවා කියල කියන්න බෑ. ඔයාලට මතක ද දඹානේ හිටපු වැදිනායක තිසාහාමිලැත්තෝ අපවත් වූනාට පස්සේ හැදුව හොහොනක් විශාල ගලක් දාල. ඒකත් මහාශිලා සොහොනක් තමා. ඒ විතරක් නම් මදෑ. අපේ හිටපු අගමැති කෙනෙකු වුණ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැතිතුමා සිහිවෙන්න හඳල තියෙන ස්මාරකයක් තියෙන්නේ අත්තනගල්ලේ. ඒකත් මහ විසාල ගල් සිහිවටනයක්, නැත්නස් මහා ශිලා ස්මාරකයක්. කාලය ප්රශ්නයක් නැහැ සම්ප්රදායට.

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා කියනවා කාළ-රක්ත මැටි බඳුන් (Black and Red ware – BRW) ව්යාප්තිය අනුව මේ මහාශිලා සංස්කෘතිය ව්යාප්ත වූ ආකාරය දැකගන්න පුළුවන් කියල. කාළ රක්ත වර්ණ මෙවලම් කියන්නේ විශේෂ මැටිබඳුන් වර්ගයක්. මැටි බඳුනේ ඇතුළ කළු පැහැය හා පිටත රතු පැහැය එන ආකාරයට නිමවන ලද මැටි බඳුන් වර්ගයක්. සාමාන්යයෙන් මැටි බඳුනක වෙන්නේ පිට කළු පාටයි ඇතුළ රතුපාටයි වෙන එකනේ. ඒත් අපේ හිටපු පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා පහදල දෙන ආකාරයට මේ මැටි බඳුන්වල ව්යාප්තියෙන් මේ මහාශිලා ව්යාප්තිය දැනගන්න බෑ, ඒකට ලඝු කරන්න බෑ. මොකද මේ මැටිබඳුන් ක්රිස්තු පූර්ව කාලයේ වගේම ක්රිස්තු වර්ෂයෙන් නම වැනි සියවසේ පවා හමු වෙනවා. ඒ කියන්නෙ අනුරාධපුර යුගයේත් අන්තිම හරිය.

මේ සංස්කෘතිය අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ වෙනත් තැන්වලත් තියෙනවා. එංගලන්තයේ තියෙන ස්ටොන් හෙන්ජ් කියන ගල් වළල්ලත් මේ සම්ප්රදායටමයි අයිති. දකුණු ඉන්දියාවේ ප්රදේශවල බොහෝම සංකීර්ණ ව්යාප්තියක් තියෙනවා. කොලින් රෙන්ෆ්රූ වගේ මහාචාර්යවරු කියන විදිහට යුරෝපයේ ඉදල අප්රිකා මහාද්විපයටත් එතැනින් ඉන්දියානු උප මහාද්වීපයටත් මේ සංස්කෘතිය ඇවිල්ල තියෙනවා. ලස්සනම දේ කියන්නේ දකුණු ඉන්දියාවේ තවමත් මේ සම්ප්රදාය දිවිමන්, මැරිල නැහැ.

ලංකාවේ මේ සම්ප්රදාය නිරූපණය කරන්නේ විශාල වශයෙන් සොහාන් වලින්. මේ වගේ සුසාන තියෙන භූමි 100ක් විතර දැන් ලංකාවේ විවිධ පළාත්වලින් හොයාගෙන තියෙනවා. ගොඩාක් විට මේ වගේ සොහොන් සංකීර්ණ හමු වෙන්නේ අතු ගංගා ඇසුරු කරමින් බව ඒ පිළිබඳ හොයාබලද්දි හෙළි වෙලා තියෙනවා. මේ සොහොන් භූමි වැඩි ප්රමාණක් තියෙන්නේ උතුරු මැද කලාපේ. පුරාවිද්යා පශ්චාත් උපාධි ආයනයේ ජේ්යෂ්ඨ කථිකාචාර්ය Ranjith Dissanayake
මැතිතුමා මේ වගේ සොහොන් පලවල් විශාල ප්රමාණයක් වාර්තා කරල පොතකුත් පිටකරල තියෙනවා. රට පුරාම තව හොයාගන්නත් සෑහෙන ප්රමාණයක් ඇති මයේ හිතේ. මේ ගැන හොයාබලපු පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආචාර්ය ඩි.කේ. ජයරත්න මැතිතුමා ලංකාවේ මේ සම්ප්රදාය ගැන ලියද්දි මේ සිහිවටන සුසාන හා සුසාන නොවන ස්මාරක කියන පුළුල් කොටස් දෙකකට බෙදල තියෙනවා. සුසාන නොවන ස්මාරක වර්ගයට අයිති අපි කලින් සටහනක කතා කළ විදියේ පදවිගම්පොල ගල් මැස්ස ආකාර ඩොල්මන් සිහිවටන. සුසාන සිහිවටන ඝණයට වර්ග කීපයක්ම තියෙනවා. ශිලා මඤ්ජුසා නැත්නම් ගල් පෙට්ටි, බරණි සුසාන හා වළ සුසාන කියල. මේව ඇතුළේ තව උප බෙදීම් කරන්න පුළුවන්. මේ සොහොන් වර්ග ගැන උදාහරණත් එක්කම වෙනම සටහනකින් කියන්නම්. මෙතන ලියන්න ගියොත් සටහන ලිපියක් වෙනවා.

මේ සොහොන් වල ආකාර දෙකකට සුසාන කරල තියෙන්න පුළුවන්. ප්රාථමික හා ද්වීතීය සුසාන කියල. මෘත දේහය එහෙමම වළලලා තියෙන එකට තමා ප්රාථමික සුසාන කියන්නේ. මැරුණු කෙනා කැලේ ගහල තියල නැත්නම් ආදාහණය කරල තෝරාගත් ඇටකටු හෝ අළු ගෙනල්ල තැම්පත් කරන එකට කියන්නේ ද්විතීය සුසාන කියල. ඒ වගේම, එකම සොහොන නැවත නැවත පාවිච්චි කරපු අවස්ථාත් තියෙනවා. අද වගේම තමා මැරුණු කෙනාගේ තරාතිරම අනුව තමා සොහොනත්.

මේ සොහාන් වල සුසාන කළ මිනිසුන් ජීවත් වූ ජනාවාස ගැන යම් යම් හොයාබැලීම් කරල තිබුණත් ඒ ගැන සතුටු වෙන්න පුළුවන් තරමේ තොරතුරු හෙළිවුණු බවක් පේන්න නැ. ඒකට ප්රධාන හේතුවක් තමා අපේ රටේ මේ සොහොන් එක්ක බද්ධ වුණු ජනවාස පිළිබඳ සාධක තියෙන තැන් හමුවෙන්නෙත් විරළව වීම.

පුරාවිද්යාව කරන ඒ ගැන උනන්දු අය බොහොම තදින් සිහියේ තබාගන්න ඕන දෙයක් තමා සොහොනක් කියන්නේ කාලයක් තිස්සේ යන සංස්කෘතික සම්ප්රදායක් නිරූපණය කරන දෙයක් නොවන බව. බොහෝ විට සොහොනකින් කියැවෙන්නේ එක් සංස්කෘතික සංසිද්ධියක්. මැරුණා වැළලුවා ඉවරයි. දීර්ඝ කාලීන ක්රියාවලියක් පෙන්වන්නේ නැහැ. අනිත් වැදගත් කරුණ තමා ලංකාවේ හිටිය සියලු ජනයාම මේ විශාල ගල් සොහෙන් ඇතුළේ දාල වැලලුවා කියන එකත් කියන්න බෑ. හිටපු ජනගහනේ හැටියට සොහොන් නෑනේ. අනුරාධපුර මහා නගරයක් වුනත් ඒ කිට්ටුව මේ වගේ සොහොන් විශාල වශයෙන් තියෙන තැන් හමු වෙලා නෑ. ඉදිරියේ දි හම්බවෙන්න ඉඩකුත් නෑ.

පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා විසින් කැනීම් කරල ප්රසිද්ධ කළ රංචාමඩමේ එහෙම තියෙන මැටි ඔරු සොහොන් මේ සම්ප්රදායට අයිති නෑ. ඒවා වෙනම සම්ප්රදායක්. පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා කියන විදිහට මේ මැටි ඔරු සම්ප්රදාය ලංකාවට අනන්ය වෙච්ච ඒ කියන්නේ අපේ රටට විතරක් සීමා වුණු සම්ප්රදායක්.

දැනට ලැබිල තියෙන කාලනීර්ණ හා ඒ පිළිබඳ අවබෝධය අනුව මේ මහාශිලා සම්ප්රදාය සම්බන්ධ ඈතම කාලනීර්ණ ලැබෙන්නේ ක්රිස්තු පූර්ව 6/7 වගේ සියවස්වල. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මැතිතුමා කැනීම් කළ දඹුල්ල ආසන්නයේ තියෙන ඉබ්බන්කටුව, මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා කැනීම් කළ යාපහුව අසළ ගල්සොහොන්කනත්ත, ආචාර්ය ඩි.කේ. ජයරත්න මැතිතුමා කැනීම් කළ සීගිරියේ ඉහළ කළවැල්ලා උල්පත වගේ ම ශ්රි ලංකා රජරට විශ්වවිද්යාලයේ මහාචාර්ය තුසිත මැන්දිස් මැතිතුමා කැනීම් කළ කොක්ඇඹේ කියන තැන් තමා දැනට පරණම සාධක හමු වෙලා තියෙන්නේ. මේ කාලේ ඉදල ක්රිස්තු වර්ෂයෙන් 4/5 වැනි සියවස් දක්වා මේ සොහොන් කාලනීර්ණ ලැබෙනවා.

අවාසනාවන්ත කරුණ තමයි ලංකාව පුරා හමුවෙන මේ සොහොන් විවිධ අය හාරලා විනාස කරනවා. එකක් නොදන්නාකම. ගොඩාක් අය හිතන්නේ මේවා ඇතුළේ නිධන්, එහෙම නැත්නම් වටිනා කියන දේවල් තියෙනවා කියලා. එහෙම වටින දේවල් හමුවෙන්නේ නැහැ. තියෙන්නේ මිනි අළු හා වෙනත් සොහොන් තැම්පතු. කලාතුරකින් ඔය පාට පාට ගල් එහෙම තියෙන්න පුළුවන්. අපේ අතීතයේ එක පැතිකඩක් කියන මේ සොහොන් අපි ආරක්ෂා කරගන්න ඕන. මොකද අපේ ඉතිහාසය ගැන විස්තර ගොඩාක් මේවගෙන් හෙළි කරගන්න පුළුවන්නේ. දඹුල්ල ආසන්නයේ තියෙන ඉබ්බන්කටුව සොහොන් සංකීර්ණය කැනීම් කරල, බලන්න ලස්සනට හදල තියෙනවා. පොඩි ගානකුත් අය කරනවා. ඒ පාරෙන් ගියොත් ගොඩවෙලා බලන්න. ඒ සොහොන්වල නිදන්නෙත් අපේම අතිතයේ හිටපු ඇත්තොම තමා. පුනරුප්පත්තිය විශ්වාස කරන අයට හිතන්න පුළුවන් ඒ සොහොන්වල අපිත් ඉන්න පුළුවන්නේ නේද කියලා.

මේ සමඟ අමුණලා ඇති ඡායාරූපයේ තියෙන්නේ ඉබ්බන්කටුව කියන තැන ගල් පෙට්ටි සොහොන්. පින්තූර ගත්ත අය කවුද කියල නම් දන් නැහැ. නමුත් ඒ සියලු දෙනාටම ස්තුතිය හිමි වෙන්න ඕන.

චන්දිම අඹන්වල

2020.04.04 / 07.48 PM

22. වෙස්සගිරියේ සිතුවම්

අපේ රටේ අතීතයේ හිටපු අය විවිධ අරමුණු සහිතව නිමැ වූ කලාකෘති සියදහස් ගණනාවකින් අපේ රට පෝසත්. මේ කෙටි සටහන් පෙළේ 22 වැනි සටහනින් එ වැනි කලා නිර්මාණයක් ගැන කතාකරන්නයි මම හිතුවේ. ඒ ලංකාවේ පැරණි චිත්ර ගැන. එතැනිනුත් අනුරාධපුරයේ තිසාවැව කිට්ටුව පිහිටලා තියෙන වෙස්සගිරිය කියල දැන් හඳුන්වන පරණ ආරාම පංසලේ දි දැකගන්න පුළුවන් සිතුවම් නිර්මාණ ගැනයි.

අනුරාධපුරයේ තියෙන බොහෝම සිත් ඇදගන්නා පුරාවිද්යා ස්ථානයක් තමා මේ වෙස්සගිරිය. ස්වභාවික පරිසරය, වාස්තු විද්යාව, සෙල්ලිපි, කලා නිර්මාණ වැනි බොහෝ දේවල්, අක්කර කීපයක පැතිරිලා තියෙන නටඹුන් ස්ථානයේ දි දැකගන්න පුළුවන්. අනුරාධපුරය වදින්න බලන්න එය අයගෙනුත් සීමිත පිරිසක් විතරයි මේ ස්ථානය දැකබලාගන්න එන්නේ. ශ්රී මහා බෝධිය පැත්තේ ඉදල එද්දි දැන් අපි ඉසුරුමුනිය කියල හඳුන්වන පංසල පහුකරල ටික දුරක් යද්දි මේ තැනට එන්න පුළුවන්. මහාවංසයේ තියෙන වළගම්බා පුවතේ දැන්වෙන කාරණයක් නිසා මේ ස්ථානයට දැන් වෙස්සගිරිය කියල කිවුවත් මේ එනමින් වංසකතාවන්හි දැක්වෙන විහාරය නෙවෙයි. මේ ‘ඉස්සර සමණ විහාරය’ කියල හඳුන්වපු විහාරය බව දැන් එම ස්ථානයේම තියෙන සෙල්ලිපි වලින් තහවුරු වෙලා තියෙන්නේ. ඉසුරන් සහිත අය පන්සියයක් දෙනා මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලබා විසූ තැන ඉසුරුමුණිය වූ බව මහාවංසයේ තියෙනවා. ඒ දේවානම් පියතිස්ස රජ සමයේ දීමයි. ක්රිස්තු වර්ෂ 477 ඉදල 495 දක්වා මෙරට පාලනය කළ ඒ වගේම සීගිරිය නිර්මාණය කළ කස්සප රජතුමා මෙම විහාරය අලුත්වැඩියා කරල තමන්ගේ නමත් තම දියණියන් දෙ දෙනාගේ නමුත් එක්කරල මෙම විහාරය බෝ-උපුල්වන්-කසුබ්-ගිරි විහාරය කියල නම් කළා කියල කියැවෙන සෙල්ලිපි හමු වෙලා තියෙනවා. ඒ තියන්නේ මේ විහාරය බෝ-උපුල්වන්-කසුබ්-ගිරි විහාරය බව දැන් තහවුරුයි. මේ සමහර අයට දන්නවා ඇතිනේ පිදුරංගල කන්ද පාමුළ තියෙන විහාරයේ නමත් ඒකමයි කියල. මේ ස්ථානයේ ගල්කුළු තුනක් ඇසුරු කරගෙන කරපු ගල් ලෙන්, ගොඩනැඟිලි හා සෙල්ලිපි ආදිය දැකගන්න පුළුවන්.

ලංකාවේ පළමු වැනි පුරාවිද්යා කොමසාරිස් වුණු හැරී චාල්ස් පර්වියෙස් බෙල් මැතිතුමා තමා මේ සිතුවම් ගැන 1907 දි මුළින්ම ලියල තියෙන්නේ. එතුමා කියල තියෙන විදිහට B පර්වත සංකීර්ණයට අයිති 9 හා 10 කියන ගල්ලෙන්වල තමා මේ සිතුවම් තියෙන්නේ. ලංකාවේ පැරණි සිතුවම් පිළිබඳ හොයාබලපු විද්වතුන් පෙන්වා දෙන්නේ ගොනාගොල්ල, කණ්ඩලම, කොටියාගල, කරඹගල, සීගිරිය වෙස්සගිරිය වගේ තැන් කීපයක ලංකාවේ පැරණිම සිතුවම් කොටස් පවතිනවා කියලයි. තවත් තැන් තියෙනවා, මේ කතාවට ඒවා ඕන නෑ. ඒ සමහරු කියල තියෙන ආකාරයට සුප්රසිද්ධ සීගිරියේ සිතුවම් සම්ප්රදායට බොහෝ සෙයින් අනුගත සිතුවම් තමා මේ වෙස්සගිරියෙ තියෙන්නේ. මේ උගතුනට අනුව මේ ස්ථානයේ මානව රූප, දේව රූප හා විවිධ සැරසිලි තියෙන බවත් ඒවා ඇඳිමට කොළ, රඹ හා රතු වැනි පාට යොදාගෙන ඇති බවත් පැහැදිලියි.

එච්.සී.පී. බෙල් මැතිතුමා හා මහාචාර්ය සේනක බණ්ඩාරනායක මැතිතුමාට අනුව වෙස්සගිරිසේ සිතුවම් සීගිරියේ සිතුවම් හා බෙහෙවින් සමානයි. එකම ගුරුකුලයකට අයිති එහෙම නැත්නම් එකම ශිල්පියෙක් විසින් මේ සිතුවම් අඳින්නට ඇතැයි ඔහුන් පෙන්වා දිමෙන් ම මේ දෙ තැන තියෙන සිතුවම් අතර ඇති සම්බන්ධතාවේ සමීප බව පැහැදිලිනේ.

අංක 9න් හඳුන්වා ඇති ගුහාවේ තියෙන බෙහෙවින් හායනය වූ අඩි 3ක් උස හා අඩි 2ක් පමණ පළල රූපය සුන්දර කාන්තා රූපයක්. කහ, රතු හා කොළ යන පාට පාවිච්චි කරල ඇදල තියෙන මේ රූපය මහාචාර්ය සේනක බණ්ඩාරනායක මැතිතුමාට අනුව නම් නාගිනි රුවක්. ඒ කියන්නේ නාග කාන්තාවක්. අංක 10 ගුහාවේ ඇති සිතුවම අඩි 2ක් පමණ උස හා අඩි 1 අඟල් 6ක් පමණ පුළුල වූ කුඩා පුරුෂ රූපයක්. මේ රූපය අදින්න කහ හා රතු පාට යොදාගෙන තියෙන බව පේනවා. මේ රූපය ඇදල තියෙන ආකාරය අනුව නම් අහසේ පියාඹලා යන දේවතා රුවක් බවට නම් සැකයක් නෑ. ඉස්සර ලස්සනට ඇදල තිබුණු මහා විසාල සිතුවකම කොටස් විතරයි අද ඉතිරි වෙලා තියෙන්නේ. අර උඩින් කිවුව කාන්තා රූපයට දකුණු පැත්තේ බුද්ධ රූපයක් හරි බෝසත් රූපයක් හරි තියෙන්න ඇති. මේ සිතුවම් සමස්ත වශයෙන් ගෙන සලකා බැලීමේ දි මේ සිතුවම මඟින් බුදු හිමියන් හෝ බෝධිසත්වයන් වහන්සේ වන්දනා කරන ආකාරයක් නිරූපණය කර තිබෙන්නට ඇති බව මහාචාර්ය බණ්ඩාරණායක මැතතිතුමාත් ලියල තියෙනවා.

මේ සටහන සමඟ තියෙන රූපයේ වම් පැත්තේ තියෙන්නේ ඉහත කිවුව කාන්තා රූපේ. දකුණු පැත්තේ තියෙන්නේ දේවතා රූපේ. හොඳින් බැලුවොත් රූප හරියට අඳුරගන්න පුළුවන් වෙයි. මේ සිතුවම් ඇඳල තියෙන තැනට ගියත් හොඳට පුරුදු නොකළ ඇහැකට මේ සිතුවම් අඳුර ගන්නත් අමාරුයි. දැන් එච්චරකට විනාශ වෙලා.

ඇස්. ජී. චාල්ස් මැතිතුමා පෙන්වලා දීල තියෙන විදිහට වෙස්සගිරියේ අවධි දෙකකට අයත් සිතුවම් දක්නට තියෙනවා. ඒ අනුව ඉහත විස්තර කළ සිතුවම් වලට යටින් ඇති ස්තරයක සීගිරි සමයටත් වඩා පැරණි කාලයට අයිති වෙන සිතුවම් කොටස් තියෙනවා. ඉහළ තට්ටුවේ තියෙන සිතුවම් ශක්තිමත් හා ප්රාණවත් රේඛාවෙන් නිරූපණය කර ඇති සිතුවම්. මේවා පොළොන්නරුවේ පුල්ලිගොඩ තියෙන සිතුවම් හා සමානයි කියලත් ඔහු කියනවා.

පුරාවිද්යා දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා 1972 වසරේ දි ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි කියන සිතුවම් සංරක්ෂණ ශිල්පියා ගෙන්නලා මෙම සිතුවම් විනාශ වන එක අවම කරල තියෙනවා. ඊට පස්සෙත් ඒ කියන්නේ 1984 වසරේ දිත් නැවත සංරක්ෂණය කරල තියෙනවා. නමුත් ඕන දෙයක ආයු කාලයක් තියෙනවනේ. අපි ලේසියට පුරාවිද්යා දෙපාර්තමේන්තුවය කෑ ගැහුවට අපේ අය ම ගිහිල්ල මේ චිත්ර අත ගානවා. ඒ විතරක් නම් මදෑ ඒවා මත නම්ගම් ලියල තමන් මානසික විකෘතියෙන් පළෙන බවත් සටහන් කරනවා. මේ විදිහට මිනිස්සු කරන හානිය අවම කරන්න ඒ සිතුවම් වට කරල යකඩ වැටකුත් හදල තියෙනවා.

වෙස්සගිරියේ කාන්තා රූපය සිගිරිය සිතුවම් අතර තියෙන සමහර කාන්තා රූපවලට සමානයි කියන එක දැන් පැහැදිලියි. ඒ වගේම තමා අනුරාධපුරයේ හොරොව්පොතානට ආසන්න තැනක් තියෙනවා ‘හඳගල විහාරය’ කියල. මිහින්තලේ විහාරයට තරමක් සමානයි. එතැනත් ගල්ලෙනක තරමක් උසින් කාන්තා රූප වගයක් සිතුවම් කරල තියෙනවා. ඒ වගේමයි මිහින්තලේට කිලෝමීටරයක් විතර දුරින් තැනක් තියෙනවා වසංමලේ නැත්නම් මොණරගල කියල. එතැනත් තියෙනවා බොහොම විනාශ වුණු සිතුවමක්. ඒ සිතුවමේ පැත්තකත් තියෙනවා හුරුබුහුටි ලලනා රූපයක්. මේ වගේ සිතුවම් සියල්ලම පාහේ තියෙන්නේ බෞද්ධ පන්සල් වලනේ. ගොඩාක් විට වන්දනා කරන නැත්නම් ගරුපක්ෂපාත බව විදහාපාන ඉරියවුවකින් ඉන්නේ. රාජකීය උපාසක අම්මලා වගේ. රාජකීය ලිලාව නිසානේ බොහෝ දෙනෙක් කියන්නේ මේ දිව්ය අප්සරාවෝ කියල. හැබැයි මේ ලේඛකයා නම් හිතන්නේ මේ වෙස්සගිරියේ, මිහින්තලේ මොණරගලේ හා හඳගල විහාරයේ ඉන්නේ නාග කන්යාවෝ කියලයි. හුරුබුහුටියි. කාමය උද්දීපනය වෙන්නෙ නෑ. අර බණ්ඩාරණායක මැතිතුමා කිවුව විදිහට නාගිනි රූප. බෞද්ධ වංසකතා හා වෙනත් පොත් බැලුවහමත් පේනවා නාග වංශිකයෝ කියන්නේ බුදුදහමට බොහෝම ලෙන්ගතුව හිටිය පිරිසක් කියල. අවශ්ය නම් අපිට ඒ ගැන තවත් බරසාරෙට කතාකරන්න පුළුවන්.

ඔයාලත් වෙස්සගිරියේ ගියපු වෙලාවක මේ අප්සරාවෝ බලල එන්න අමතක කරන්න එපා. එයාල බොහොම ලෙන්ගතු විදිහට බලාන ඉන්නවා ඔයාලා ඇවිත් බලල යයි කියල. එයාලට මොනවත් ගෙනියන්න ඕන නෑ. එයාලගෙන් දෙයක් ගේන්න හිතන්නත් එපා. ඒ වගේම එයාලගේ ඇඟ හූරන්න, අල්ලල බලන්න එහෙම යන්නත් එපා. මෝඩ කම පෙන්වන්න නම්ගම් ලියන්න යන්නත් එපා. අහු වුනොත් ඇප ලැබෙන්නෙත් නෑ. දන් නෑ කියල කීවට වැඩක් නෑ. වස් වදිනවා සත්තයි. මොකද ඒ ලස්සන සුන්දර රූප අයිති අපිට විතරක් නෙවේ, අපේ අනාගත දරු පරම්පරාවටත් අයිතියි.

චන්දිම අඹන්වල

2020.04.04 / 00.36 AM