Home Blog Page 8

19. මිහින්තලේ, බෙහෙත් ගෙය

අපේ ඉතිහාසයේ විශිෂ්ඨත්වය පෙන්නුම් කරන දෙයක් ගැන විස්තර කරන්නයි මේ සටහන. අපේ හැදියාවේ බිහිදොර වුණු මිහින්තලේට එන කෙනෙකුට දැකබලා ගන්න පුළුවන් මිහින්තලේ පැරණි බෙහෙත් ගෙය ගැනයි මේ විස්තරය. අපේ පැරැන්නන්ගේ වෙදකමේ පැවති සංවිධානාත්මක බව දැනගන්න මේ වගේ තැනකට යන එක හරිම ප්‍රයෝජනවත්. මේ වගේ පැරණි බෙහෙත් හල් ලංකාවේ කීප තැනකම තියෙනවා. අනුරාධපුරයේ ථූපාරාමය අසළ, බසවක්කුලම වැව පාමුළ, පොළොන්නරුවේ ආළාහන පරිවෙණ හා මැදිරිගිරිය කියන තැන්වලත් මේ වගේ පැරණි රෝහල් තියෙනවා.
මහාවංසයේ 51 වැනි පරිදච්ජේදයේ තියෙනවා ක්‍රිස්තු වර්ෂ 853-887 කාලයේ හිටි දෙ වැනි සේන රජු සෑගිරියෙහි වෙද සලක් කර වූ බව. ඒ කියන්නේ මේ රෝහළ එතකොට අවුරුදු 1,200ක් විතර පරණයි. මෙම ගොඩනැඟිල්ල ඉස්ඉස්සෙල්ලම ඒ කියන්නේ 1910 දී කැනීම් කළේ ලංකාවේ පළමු වැනි පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් මැතිඳා. ඊට පස්සේ 1947 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා කැනීම් කරල මේ ගැන හොයලබලල තියෙනවා. මේ කැනීම්වලින් හමු වුණු සැත්කම් උපකරණ කීපයකුයි, බෙහෙත් දාල තිබුණු මැටි භාජන, ඇඹරුම් ගල් වගේ දෙවල් ටිකක් මේ බෙහෙත් හළට ඇස් මානේ පිහිටුවල තියෙන පුරාවිද්‍යා කෞතුකාගාරේ තියෙනවා. සල්ලි එහෙම ගන් නෑ, ගියපු වෙලාවක ගොඩවෙන්න. මේ වෙදහළ කැනිම් කරාට පස්සේ දැන් තහවුරු කරල තියෙන විදිහ තමා මේ සමඟ තියෙන රූපේ වම් පැත්තේ තියෙන සැලසුමේ තියෙන්නේ. අනිත් රූප දෙක බෙහෙත් ඔරුවයි, බුදු මැදුරයි.
මේ ගොඩනැඟිල්ලේ ප්‍රධාන පිවිසුම තියෙන්නේ මිහින්තලා කන්ද පැත්තට. බෙහෙත් ගෙයි බිම් සැලැස්ම බලද්දි ප්‍රධාන කොටස් 2ක් තියෙනවා විවෘත භූමිය සහිත ඉදිරිපස කොටස හා බුදු පිළිමගෙය සහිත ඇතුළු කොටස වශයෙන්.
විවෘත භූමිය සහිත ඉදිරිපස කොටස බාහිර රෝගි අංශයක් වශයෙනුයි තිබිල තියෙන්නේ. දකුණු පැත්තට තියෙන ප්‍රධාන පිවිසුමෙන් දකුණට තියෙන දොරින් ඇතුළට යද්දිම දකුණු පැත්තෙන් කුටියක් තියෙනවා. මේකට වහලකුත් තිබිල තියෙනවා. මෙය රෝගීන් පරික්‍ෂා කළ තැන වෙන්න ඕන. ඇතුළේ තියෙන එළිමහන් භූමියේ වම් පැත්තේ ඇඹරුම් ගලක් තියෙනවා. මෙවැනිම හැඩයෙන් යුතු ඒත් ප්‍රමාණයෙන් කුඩා ඇඹරුම් ගලක් මිහින්තලේ පුරාවිද්‍යා කටුගේ තියෙනවා. මේ අසල ම තියෙන කුඩා කුටිය බෙහෙත් එහෙම තැම්පත් කරල තිබුණු තැන හැටියටයි මේ ලේඛකයට හිතෙන්නේ. ඒ කුටියට දකුණින් ගල්කණු 30කින් බර දරාගෙන සිටි වහලක් සහතව පැවති විශාල කුටියක් තියෙනවා. මේ බෙහෙත් ගෙයි උවටැන් ලැබූ භික්‍ෂූන් වහන්සේලාට දානය සැප යූ දාන ශාලාව කියලයි පුරාවිද්‍යාඥයෝ හඳුනාගෙන තියෙන්නේ. මේ කියන දාන ශාලාවට අනිත් පැත්තේ බොහොම වැදගත් තැනක් තියෙනවා. සාමාන්‍ය උසට වඩා වැඩි උස් බිම් මට්ටමකින් පිහිටුවා ඇති මෙම කුටීරයත් වහලක් මඟින් හෙවණ ලැබූවක්. මෙම කුටිය මැද හතරැස් වලක් තියෙනවා. මෙයට කියන්නේ උණුපැන් ගෙය නැත්නම් ජන්තාඝරය කියලයි. අද අර කට්ටිය ‘ස්ටීම් බාත්’ කියල කරන්නේ. ඒ දේ තමා මෙතන දී කළේ. මිහින්තලේ මේ වගේ ජන්තාඝර කීපයක්ම තියෙනවා. ලංකාවේ පැරණි ආරමය බොහොමයක මේ වගේ ඒවා තියෙනවා. කුරුණෑගල කිට්ටුව තියෙන අරන්කැලේ වගේම හොරොව්පොතාන කිට්ටුව තියෙන කිරලාගල කියන තැන්වල හරි ලස්සන ජනාතාඝර තියෙනවා.
බෙහෙත් ගෙයි ඇතුළු කොටස රෝගීන්ගේ නේවාසික කුටි හා ‘බුදුමැදුර’ වශයෙන් කොටස් දෙකකට වෙන්කරලයි තියෙන්නේ. මේ කොටසේ එකම වේදිකාවකින් සම්බන්ධ වූ කුටි 32ක් තියෙනවා. මෙම කුටි නේවාසික රෝගී භික්ෂුන් වහන්සේලා නවාතැන් ගෙන සිටි තැන්.
බෙහෙත් හලේ ඊසාන කෙළවරේ තියෙන කුටියත් හරිම වැදගත්. බෙහෙත් ඔරුව තියෙන්නේ මේ කුටියේ. මෙම කාමරයෙහි පමණක්, බිම ගල් පුවරු අතුරලා එක් පැත්තකින් එළියට යන්න දොරටුවක් තියෙල තියෙනවා. රෝගීන්, ඖෂධ දියරයන්හි ගිල්වා තබන්නයි බෙහෙත් ඔරුව පාවිච්චි වෙන්නේ. මේ ඔරුව කලාත්මක වශයෙන් බැලුවහමත් හරිම උසස්. මේ වගේ බෙහෙත් ඔරු කීපයක්ම ලංකාවේ තියෙනවා. අර කලින් කිවුව හැම රෝහලකම වගේ මේ වගේ ඔරු තියෙනවා. මේ බෙහෙත් ඔරුවේ ප්‍රමාණය බලද්දි ඒ කාලේ මිනිස්සුත් ශරීරයේ තරම අපිත් එක්ක වෙනසක් නෑ.
නේවාසික කුටිවලින් වට වෙලා තියෙන්නේ බුදුමැදුර. බුදුමැදුර වහලකින් ආවරණය වෙලයි තිබිල තියෙන්නේ. බුදු මැදුරට පිවිසෙන තැන සදකඩපහණක් වගේ ම දෙ පස කැටයම් රහිත මුරගල් දෙකක් තියෙනවා. එයින් දකුණු පැත්තේ තියෙන මුරගලේ පේළි හතක සෙල් ලිපියක් දැකගන්න පුළුවන්. මේ ලිපියේ – වෙද සලෙහි – කියල සටහන් කරල තියෙන නිසා මේ ස්ථානය වෙදහළ කියන එක ගැන පොඩි සැකයක්වත් නැති වෙනවා කියල ජයන්ත උඩුවර මැතිතුමා කියල තියෙනවා. මේ බුදුමැදුර තුළ ගලින් සකස් කළ නෙළුම් මලක් උඩ බුදු පිළිමයක් වැඩහිටි බව ඉතාම පැහැදිලියි. ඉතිං බලන්නකෝ අපේ රටේ ඉස්සර ඉදපු අය ගතින් දුබල ගිලනුන්ගේ සිත සුවපත් කරන්නනේ මේක හදල තියෙන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටිය බොහොම ප්‍රසිද්ධ සැක්කම් පිළිබඳ වෙද මහැදුරු කෙනෙක් අර්ජුන අලුවිහාරේ කියල. සමහර වැඩිහිටි අය අහල ඇති. ඉති අර පොළොන්නරුවේ තියෙන ආළාහළ පිරිවෙණේ වෙදහල සංස්කෘතික ත්‍රිකොණ ව්‍යාපෘතිය මගින් කැනීම් කලානේ. එතැන දි හමු වුණු පොඩි පොඩි උපකරණ පිළිබඳ අධයයනය කරල ඒවා බොහොම වර්ධිත, වෙදකමක් සඳහා භාවිත කළ උපකරණ කියල එතුමා ලියල තියෙනවා. ඉන්ටර්නෙට් එකේ බැලුවොත් එතුමා ලියපු සමහර දේවල් තියෙනවා.
මෙතැන වෙලා තියෙන්නේ නිකංම නිකං වෙදකමක් නෙවෙයි. බාහිර රෝගීන්ටත් බෙහෙත් කරල. රොගීන් නේවාසික කරලත් බෙහෙත් කරල. උණුපැන් නාවනවා වගේ වැඩත් කරල. අවශ්‍ය අය බෙහෙත් ඔරුවක බස්සලා තියල. භාග විට සැත්කම් එ‍හෙමත් කරන්න ඇති. බඩත් පුරවන්න වැඩ කරල නම් විතරක් මදෑ, හිත පිරෙන්නත් වැඩ කරල. මේ දේවල් කරන්න නම් කොහොම වෙදැදුරෝ ඉන්න ඇත් ද කියල ටිකක් හිතල බලන්න. කරුණාව පෙරදැරිකරගත් අය වෙන්න ඕන. හෙදකමත් ඒ විදිහට තියෙන්න ඇති. අපි කියවලා තියෙනවානේ මහාවංසයේ බුද්ධදාස කියන රජතුමාගේ විස්මිත වෙදකම් ගැන.
මේ වගේ අංග සම්පූර්ණ රෝහලක් තිබුණු රටක, විශිෂ්ඨ වෙද ඇත්තන් හිටපු රටක සෞඛය සේවය උසස් වෙන එක අහන් දෙයක් ද? අපේ රටේ වෙදැදුරොයි පාලකයෝ හැමෝමයි මේ අද තියෙන මහාමාරිය ජය ගන්නවා සිකුරුයි. එහෙම බැරි වුනොත් තමා ලෝක පුදුමේ.

අපි ඉති පුළුවන් විදිහට මේ උරුමය පාදල මතුකරල ගන්න ඕන. ඒවා ගැන දැනකියා ගන්නත් ඕන. අපි පාදා මතුකර ගන්න ඕන අපේ ඇහැට පේන්න තියෙන මේ අතීත කතාවයි ඒත් එක්ක බැදුණු සාක්කියි කියන එකයි මේ ලේඛකයාගේ අදහස.

35. බලංගොඩ මිනිසාගේ භූමදානය හා ශරීර ලක්‍ෂණ

බලංගොඩ මිනිසා පිළිබඳ මේ සටහන් අතර මෙයින් කතාකරන්නේ ඔහු මියගිය පසු භූමදානය කළ ආකාරය හා ඒ මිනිසාගේ ශරීරයේ හැඩලක්ෂණ ගැනයි.

බලංගොඩ මිනිසාගේ මෘතදේහ වැළලීම ගැන බෙල්ලන්බැඳිපැලැස්ස, කිතුල්ගල බෙලිලෙන, බටදොඹලෙන හා ෆා-හියන් ලෙන වගේ තැන්වලින් සාධක හමුවෙලා තියෙනවා. බලංගොඩ මිනිසාගේ ශරීරයේ හැඩ ගැන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මැතිතුමා, මහාචාර්ය කේ.ඒ.ආර්. කෙනෙඩි මැතිතුමා හා ආචාර්ය ඩයනා හෝකී මැතිණිය ඇතුළු කීප දෙනෙක්ම විපරම් කරල තියෙනවා.

1956 – 1961 කාලේ බෙල්ලන්බැඳිපැලැස්සේ කළ කැනීම්වලින් භූමිදාන කරපු මිනිස්සු 20කට වැඩි ගණනකගේ සැකිලි හමුවෙලා තියෙනවා. පී.ඊ.පී. දැරණියගල මැතිතුමා ඒ සැකිලිවල තියෙන හැඩතල අනුව ඒ මිනිස්සු Homo sapiens balangodensis Deraniyagala කියල නම් කළා. අපර නම තමා ‘බලංගොඩ මානවයා’. පිළිගත් සම්මතයන්ට අනුව පසුව මේ නූතන මානවයා (Homo sapiens) විදිහට හඳුනා ගන්නවා.

බෙල්ලන්බැඳිපැලැස්සේ සැකිලි වැඩිහරිය අවුරුදු 23-25 වයසේ ගැණුපිරිමි දෙපිරිසටම අයිතියි. ළදරුවන් හා දරුවන්ගේ අස්ථිත් තියෙනවා. මේ මෘතදේහ ඒ තරම් ගැඹුරට වළලලා නැහැ. කිතුල්ගල බෙලිලෙන හා බටදොඹලෙනේ පේන විදිහට නොගැඹුරු වළක වළදාලා එතැන මුළුතැන්ගෙයි අපද්රව්යවලින් වහල. බටදොඹලෙන හා ෆා-හියන් ලෙනේ සාධක ද්වීතීය හා අසම්පූර්ණ භූමිදාන ලකුණු පෙන්නනවා. මළසිරුර මුළින් කොහේ හරි දාල මස් දියවෙලා ගියාට පස්සේ තෝරාගත් ඇටකටු කීපයක්, බොහෝවිට දිගු ඇටකටු විතරක් ගුහාවට ගෙනල්ල වළදාන එකටයි ද්විතීය සුසාන කියන්නේ. සම්පූර්ණ සැකිල්ලම නැති නිසා අසම්පූර්ණ සුසාන කියල කියනවා. තෙත් කලාපයේ ලෙන් තුළින් සම්පූර්ණ සැකිලි හමුවෙන්නේ කලාතුරකින්. සීගිරිය පොතාන ගුහාවෙන් මිනිසුන් දෙදෙනෙකුගේ හා ෆා-හියන් ලෙනින් 2012 දි සම්පූර්ණ එක් සැකිල්ලකුත් හම්බ වෙලා.

නූතන මානවයා ගැන ආසියාවේ පරණම සාධක අතර අපේ සාධක තියෙනවා. ෆා-හියන් ලෙනින් හමුවුණු හිස්කබල අදින් වසර වසර 31,000 කාලයට හා බටදොඹලෙනින් හමු වූ හකු ඇටය වසර 28,000ක් පැරණියි. බටදොඹලෙන නැවත වරක් අවුරුදු 16,500ක් හා කිතුල්ගල 12,500ක් පරණ සාධකත් බෙල්ලන්බැඳිපැලැස්සෙන් අදින් වසර 6,500 පැරණි කාලය අයිති සාධකත් ලැබෙනවා.

කැනීම්වලින් මේ දක්වා වෙන් වෙන් මිනිස්සු 100කට වැඩි පිරිසකගේ සැකිලි නැත්නම් කොටස් හමුවෙලා තියෙනවා. බෙල්ලන්බැඳිපැලැස්සෙන් මිනිසුන් 30ක්, කිතුල්ගල බෙලිලෙනින් 12ක් පමණ, බටදොඹලෙන 33ක් පමණ, ෆා-හියන් ලෙන 9ක් පමණ, සීගිරිය පොතාන සම්පූර්ණ සැකිලි 2ක් හා අත්තනගල්ල පොත්ගුල්ලෙන මිනිසුන් 5ක් පමණ හමුවෙලා ඇති සාධක උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ සාධක අදින් වසර 37,000 ඉදල අදින් වසර 5,400 දක්වා කාලයට අයිතියි. වයස හෝ ස්ත්රීපුරුෂභාවය ගැන විශේෂයක් පේන්නේ නැහැ. බෙල්ලන්බැඳිපැලැස්සෙ සැකිලි අනුව ඒ කාලේ පිරිමින්ගේ සාමාන්ය උස සෙන්ටීමීටර් 174ක් විතර හා කාන්තාවන්ගේ සාමාන්ය උස සෙන්ටීමීටර් 166ක් විතර වෙනවා. උසේ හැටියට කොදු ඇට අසාමාන්ය ලෙස කෙටියි. බෙල්ලෙ අක්ෂ කොදු ඇටයත් කෙටියි. ඔලුකට්ට ඝණත්වයෙන් වැඩියි වගේම හිස්කබලේ ප්රමාණය එකිනෙකට වෙනස්. ඒ පිරිමියෙකුගේ මිලිලීටර් 1589.72ක් පමණත් කාන්තාවකගේ මිලිලීටර් 919.66ක් පමණත් වේ. පුළුල් වූ කපාලය පැතැලි ය. දිගටි හැඩයක් ගත් හිස්කබල, පසුපසට නෙරාගිය නළල සහිතයි. හිස පිටුපස නැම්ම පැහැදිළියි. හකු ඇට ඝණ හා පුළුල් වෙයි. ඇස් බැම සමහර විට බර ගතියක් පෙන්නනවා. නාස් පසුපසින් උන්නතාකාර ද මුළින් වලයාකාර ද වෙයි. සමහර වැඩුණු පිරිමින්ගේ නාස් සිදුරේ මුළ ඉදල උඩු තල්ලේ දත්වල මුළ දක්වා දුර සැලකිය යුතු මට්ටමින් වැඩියි. තල්ල විශාලය. පුළුල් හක්ක දැඩි බව පෙනේ. සාමාන්යයෙන් දත් විශාල අතර ඇඹරුම් දත් විශාලය. කකුලේ ඇට දැඩි වේ. පොදුවේ බලද්දි මේ ලක්ෂණ වැදි ලක්ෂණවලට සමාන අතර හෝමෝ ඉරෙක්ටස්ගේ ශරීර ලක්ෂණ ද යම් තරමකට බලංගොඩ මිනිසා තුළ ඇතැයි කියනවා.

බලංගොඩ මිනිසාගේ දත් සාමාන්යයෙන් විශාල වේ. තුන්වැනි චාර්වක දත ද දෙවැනි චාර්වක දත තරම්ම විශාල අතර වැද්දන්ගේ චාර්වක දතට වඩා කුඩාය. නමුත් පුරශ්චාර්වක දත් විශාල වේ. කෘන්තක දත් සිංහල මිනිසුන්ගේ ඒවාට වඩා කුඩාය. ප්රගන්ඩාස්ථිය වැදි ප්රගන්ඩාස්තියට වඩා දිග හා විශාල වේ. අර හා අන්වර අස්ථි වැද්දනට වඩා විශාලය. ඝණ ඌර්වස්ථියේ මස්පිඩු සඳහා කැපීපෙනෙන තැන් පවති. ජංඝාස්ථිය දිගු වගේම බර වේ. උකුළ වැදි උකුලට වඩා විශාල වන අතර ඔස්ට්රෙලියානු ආදිවාසින්ගේ උකුලට බොහෝ දුරට සමානය. පූර්ව කටී කශේරුකාව කුඩාය. අක්ෂ කශේරුවත් එහි දන්තාකාර ප්රසරයත් පුදුමාකාර ලෙස කෙටිය. කටී කශේරුකා විශාලය. බලංගොඩ මානවයාගේ බෙල්ල කෙටි බව පෙනේ. උරපතු ඇටය හා අත් වැද්දන්ට වඩා විශාලය. මහපට ඇඟිල්ලේ අග පුරුකේ ශක්තිය ඉතා වැඩිය. ලිංගික ද්විරූපතාව ඉහළය. පවතින හැඩ අනුව ඔස්ට්රොලොයිඞ් ලක්ෂණ පෙන්වයි.

දකුණු ආසියාවේ ප්රාගෛතිහාසික මිනිසුන් ගැන ඉහළ දැනුමක් තිබුණු ඇමරිකාවේ කෝනල් විශ්වවිද්යාලයේ මහාචාර්ය කෙනත් කෙනෙඩි මැතිතුමා බලංගොඩ මිනිසාගේ ශරීර ලක්ෂණ ගැන විශේෂ අවධානයක් යොමුකරල තියෙනවා. ඔහු බලංගොඩ මිනිසාගේ ලක්ෂණ ලංකාවේ මිනිසුන් තුළ විවිධ තරමින් ඇති බවත් වැද්දන් තුළ මේ ලක්ෂණ වැඩි බවත් පෙන්නලා තියෙනවා. බලංගොඩ මිනිසා හා සමහර ඉන්දිය ගෝත්රිකයින් අතර ලොකු සම්බන්ධතාවක් ඇතැයි කිවුවත් එය වැද්දන් සමඟ ඇති සබධතාව තරම් බලවත් නැත. නිසැකව වැද්දන් ජීවවිද්යාත්මක පරපුරක් පෙන්වන අතර බලංගොඩ මිනිසාගෙන් වැද්දන් පැවත එයි. අවුරුදු සියකට විතර ඉස්සර හෙන්රි පාකර් මැතිතුමා කිවුව විදිහට ඉස්සර මෙරට හිටපු යක්ෂයින්ගේ මුනුපුරන් වැද්දන් කියන එක මේ අනුව තහවුරු වෙනවා. ඒ වගේම බලංගොඩ මිනිසා දකුණු ආසියාවේ නූතන මිනිසා ගැන ඇති පරණම සාධක පෙන්නුම් කරනවා.

බලංගොඩ මානවයාගේ දත් ගැන ලියලයි ඩයනා හෝකී මැතිණිය තමන්ගේ දර්ශනසූරි උපාධිය ගත්තේ. Spolia Zeylanica ග්රන්ථාවලිය යටතේ The peopling of South Asia- evidence for affinities and micro-evolution of prehistoric population of India and Sri Lanka කියල 1998 දී මේ පොත කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් පළකරල තියෙනවා. සිරාන් දැරණියගල මැතිතුමා මේ පොතේ වැදගත් කරුණු කීපයක් පෙළගස්වලා තියෙනවා. ඒ අනුව ‘අ. ශාරීරික ලක්ෂණ අතින් දකුණු ආසියාවේ නූතන මිනිසාගේ පැරණි ලක්ෂණ බලංගොඩ මානවයා පෙන්වනවා. ඔහුගේ දත්වලින් අග්නිදිග ආසියාවේ හා ගිණිකොණදිග යුරෝපයේ පොදු පෙළපත් තිබූ බව නිරූපණය වෙනවා, ආ. සමහර විට ශරීර ලක්ෂණ අතින් නූතන මිනිසාගේ මුළ දකුණු හෝ ගිණිකොණදිග ආසියාවේ සිදු විය. බලංගොඩ මිනිසාගේ සාධක අනුව නූතන මානවයා අප්රිකාවේ බිහිවීම පිළිබඳ දැනට පිළිගත් මතය අභියෝගයට ලක් වේ, ආ. බලංගොඩ මිනිසාගේ දත් ඉන්දියාවේ මධ්යශිලා මිනිසුන්ට වඩා පැරණි ලක්ෂණ පෙන්වයි, ඇ. බලංගොඩ මිනිසා වැඩි සමානතාවක් දක්වන්නේ සිංහල, දෙමළ හෝ ආසියාවේ වෙනත් මිනිසුනට වඩා වැද්දන්ටය. ඈ. වැද්දන් තදින්ම සිංහල හා දෙමළ ජනයා සමඟ මිශ්ර වී ඇත. මෙම මානව කොටස් තුනම වඩාත් කිට්ටු සම්බන්ධතාවක් දක්වන්නේ දකුණු ආසියාවේ ආදිවාසීන්ටය. මේ කරුණු අනුව දකුණු ආසියාවේ සිටි පැරණි මානවයින් අතර බලංගොඩ මිනිසාට ඉහළ වැදගත්කමක් හිමි වේ.

නූතන මානවයා පිළිබඳ පැරණිම සාධක අතර බලංගොඩ මානව සාධකත් තියෙනවා. මීට සමාන සාධක තවම ඉන්දියාවෙන්වත් ලැබිල නැහැ. ඒ කියන්නේ ලෝකයේ නූතන මිනිසා ගැන හොයද්දි ලංකාවේ සාධකවලට ඉහළ වැදගත්කමක් තියෙනවා.

මේ සටහන සමඟ අමුණලා තියෙන රූපය ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා කැනීම් කළ හුංගම මිනීඇතිළියෙන් හමුවුණු සැකිල්ලක රුවක්.

චන්දිම අඹන්වල

2020.04.23 /07.45 AM

34. ජාතිකත්වය අනාථ කිරිම

ඇඳිරි නීතිය අස්සේ මා ආරම්භ කළ කෙටි සටහන් මාලාව දැන් ලිපි 34ක් වෙලා නොදැනිම. මේ ලිපි පෙළින් මේ සමූහයේ ඉන්න බොහෝ දෙනෙක් වැඩක් ගත්ත බවත් පේනවා. ඒ ගැන පොඩි සතුටක් නැතුවාම නොවේ. මේ සටහනින් කතාකරන්නේ මෙතෙක් කතා නොකළ දෙයක් ගැන. හිත පාරවන දෙයක් ගැන. මේ කියවන අයෙකුට මෙය එච්චර ප්රිය දෙයක් නොවෙන්නත් පුලුවන්. ලිපි ඔස්සේ මා දැනහඳුනාගත් අයෙකුට දෙන්නෙකුට මා පිළිබඳ ඇතිකරගත් ප්රතිරූපය බිදවැටෙන්නත් පුළුවන්. මේ ලිපිපෙළට අදාළව මෙවැනි ලිපියක් ලියන්න මා මීට පෙර කිසිසේ්ත්ම හිතලා තිබුනේ නැහැ. නමුත් පසු ගිය දින කීපයේ සමාජ මාධ්යය තුළ වගේම ‘ශ්රී ලංකා පුරාවිද්යාව’ සමූහය තුළ තිබූ ඵලකිරීම් කිපයක් අරභයා සාමාජිකයින් අතර ඇති වූ නොරිස්සුම් සහගත අදහස් උදහස් දැක්වීම් නිසාම මෙවැන්නක් ලිවීම උචිතයි කියන අදහස ඇතිවුනා. මේ ලිපිය අවසන් වනතෙක් කියවලා ඉවරවෙලා, ඊට පස්සේ කීර්තිප්රශංසා බැනඅඬගැසීම් ඕන දෙයක් කරන්න. ඒ ඕන ප්රතිචාරයකට මුහුණ දෙන්න මම සුදානම්. මේ රටේ මිනිස්සුන්ට වැඩ කරනවා නම් කිසිම යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියල අනගාරික ධර්මපාලතුමා කිවුවේ මීට අවුරුදු ගානකට කලිං.

මම කතාකරන්න යන්නේ ජාතිකත්වය නැත්නම් ‘සිංහල බෞද්ධත්වය’, ‘සිංහලත්වය’, ‘ශ්රී ලාංකික’ ‘හෙළ’ ආදි කුමන විදිහකට හෝ හදන හෝ හදන්න උත්සාහ දරන අපේ අනන්යතාව ගැන. අද සමහරු සිංහලයා උඩරට – පහතරට කියල බෙදනවා. ඒ මදිවට ‘කුලය’ කියන සාධකයත් ඉස්මතු කරන්න පටන් අරන්. වෙනත් පැත්තකින් තව ‘දේශප්රෙමියෝ’ පිරිසක් මරක්කලයා විතරක් නෙවෙයි, සිංහලයා ඇතුළේම ඉන්න කතෝලිකයයි, ක්රිස්තියානිකාරයයි භේද කරනවා. මොකද දන් නෑ, දැන් දෙමළ අමතක වෙලා. අනිවාර්යයෙන්ම ‘ත්රස්තවාදය’ හා ‘බෙදුම්වාදි මත’ පරාජය කළ යුතුයි. හැබැයි දෙමළාට දෙමළ වීම නිසාම ගහනවා නම් අපි ඒකට එකඟ නැහැ. වර්ගවාදි අදහසුයි පරාජය කළ යුත්තේ. ඒ අස්සේ තවත් දෙයක්. කිසිම සාධකයක් නැති ‘පරාජිත රාවණා’ කෙනෙක් අල්ලගෙන ‘ශූද්ධ ලේ ධාතුවක්’ හොයන්න සිංහලයන් අතරක් බෙදිල්ලක්. තනිකරම නිත්ය, සුඛ හා ආත්මවාදි දැක්මක් මේ. දැන් මේ ඉන්න හෙළ යක්ඛයින් කාටද විරුද්ධ. විනාශ කරන්න හඳන විරුද්ධවාදියා කවු ද? මොළේ තියෙන්නේ ටිකක් හිතල බලන්න. මුහුණු පොතේ කුණුහරුප කියන්නේ කාට විරුද්ධව ද? මේ බෙදිල්ලේ කූටප්රාප්තිය දැන් ඇවිල්ල. ඒ බුදුහාමුදුරුවෝ හා නෛර්යානික බුදුදහම පදනම් කරගෙන කරන බෙදිල්ලක්. මේ අයට දැන් ‘බුදුහාමුදුරුවෝ’ නෙමෙයි ඉන්නේ ‘බුදුන්’. ශ්රද්ධාව කොහි ගිහිං ද? බුදුහාමුදුරුවෝ ලංකාවේ වැඩහිටිය නම් කරන්න තියෙන්නේ ඒ දහම පදනම් කරගෙන පතන බෝධියකින් නිවන් දකින්න උත්සාහ කරන එක. නැතිව වෛරී සහගත විදිහට, ආදානග්රාහි විදිහට අනෙක් පිරිසට ඒ මතය කාන්දු කරන්න උත්සාහ කරන එක නෙමෙයි. අවුරුදු 17-20 දරුවෝ අතිපූජ්ය බලංගොඩ ආනන්ද මෛත්රේය නායක හිමිපාණන් වහන්සේ ‘බුද්ධචරිතය විකෘති කළා’ කියන තැනට, අතිපූජ්ය රේරුකාණේ චන්දවිමල නායක හිමිපාණන් වහන්සේ ‘බුදු දහම විකෘති කළා’ කියන තැනට දැන් මේ ව්යාපෘති සාර්ථත වෙලා. එතෙන්ට වැඩේ ගියානම් ඉසිවර දැක්මකින් යුතු සෙනරත් පරණවිතාන, ජාතියේ හෘදසාක්ෂිය වන මහාවංසය ගැන කවර කතාද? දුටුගැමුණු රජතුමා වගේ කීප දෙනෙකුට තාම පහර ගහන් නැති එකත් පුදුමයි. මම දන්න බුදුදහම අනුව නම් මේ උපාසකඋපාසිකාවන්ට මේ කපේ නම් දුකින් මිදෙන්න වෙන් නෑ. උපාදානය එච්චරකට බලවත්.

කිසිම ප්රශ්නයක් හෝ වාදයක් නැහැ මේ රටේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය බිහි කළේ ‘සිංහල බෞද්ධයෝ’. ඒ බව කියන්න, පිළිගන්න කිසිකෙනෙක් පසුබට වෙන්න ඕන නැහැ, බිය වෙන්න ඕනත් නැහැ. ඒ බව කියන්න සිංහල බෞද්ධ හැදියාව මත පයගහල ඒ විශිෂ්ටාර්ථ මුදුන් පැමිණවීමට කටයුතු කළ අය වෙන්න ඕන. අඩුම තරමින් පංසිල් රකින කෙනෙක්වත් වෙන්න ඕන. කොන්ඩෙ වැවුව කියන්නේ සුදුසුකමක් නෙමෙයි. අඩුම තරමින් පංසිල්වත් නොරැක, රට – ජාතිය – ආගම රැකගන්න කරන කතා වලට කියන්න තියෙන්නේ ‘කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා’ කියන එක විතරයි.

අපේ රට ඉතිහාසයේ බොහෝම ජනප්රිය වුනේ පෙර අපර දෙ දිගම යා කළ සංධිස්ථානයක් විදිහට. සිතියමක් අරන් බැලුවොත් මේ මුහුදු මාවතේ අපේ පිහිටීම පැහැදිලි වෙනවා. ඈත පෙරදිග ඉදල අපරදිග සම්බන්ධ කළ නාභිය අපේ රට. හැම කාලෙම අපේ රටට පෙර අපර දෙ දිගම මිනිස්සු ආව ගියා. මේ රට හරයා අනෙක් පැත්තට ගියා. ටික දවසක් නැත්නම් සම්පූර්ණ කාලෙම අපේ රටේ නතර වුනා. අශ්ව වෙළෙඳාමේ ආව අයත් අල්ලගත්ත රටක් මේක. දුටුගැමුණු වගේ මානව සංහතියේම පහළ වූ ශ්රේෂ්ඨ දාර්ශනික පාලකයෝ බිහිකළ රටක්. මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ට පවා මෛත්රීය කළ බුද්ධදාස වගේ පාලකයෝ බිහිවුණු රටක්. බුද්ධඝෝෂ හාමුදුරුවෝ උසස් අධ්යාපනයට ආවෙත් මේ රටට. අරියදේව හිමිපාණන් වගේ මහායානිකයින්ගේ මහාවාදියෝ බිහිවුනේ අපේ රටෙන්. මේ රට පුදුම විදිහිට ශ්රේෂ්ඨ රටක්. ඒ ශ්රේෂ්ඨ බව එන්නේ මානව හිතවාදයත් එක්ක. බොරු දේශවාසල්යය නැතිව බුද්ධිමත්ව කටයුතු කළ මිනිස්සු එක්ක. 2009 අපි ඉවර කරපු යුද්ධය ශ්රේෂඨ වෙන්නේ ත්රස්තවාදියෝ සම්පූර්ණයෙන්ම ඉවර කළ නිසාම නෙවෙයි. ඒ ඇතුළේ තිබුණු මානව දයාවත් නිසා.

කවුරු හරි කියනව නම්, මේ රටෙන් ‘මහාවිහාර ථෙරවාද බුදුදහමට හිමි තැන නැතිකරල දාන්න ඕන’ කියල, ‘හැදියාව ගොඩනැඟු සිංහලයින් මුළුගන්වන්න ඕන’ කියල ඒක මේ රටේ තියෙන අසාධාරණම කතාවක්. අනිත් අතට මේ රටේම කොටසක් වෙලා ඉන්න කතෝලිකයින්, ක්රිස්තියානුවන්, දෙමළුන් නැත්නම් මරක්කලයින් සමූල ඝාතනය කරන්න කියන ඒකත් ඊට දෙවැනි නෑ. බි්රිගේඩියර් සුරේෂ් සලේගේ සේවය අත්හිටවන්න ඕනද සිංහල නෙවෙයි කියල. මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් වහන්සේ මේ රටින් පිටමං කරන්න ඕන ද? අපි මේ කතාකරන ඉතිහාසය පුරාවිද්යාව තුළින් රටේ උත්කෘෂ්ඨ බව හෙළිකළ ආර්.එල්. බ්රෝහියර්සි.ඩබ්ලියු. නිකලස්ගේ අදහස් කුණු කූඩෙට දාන්නද? නැත්නම් බුද්ධඝොෂ හාමුදුරුවෝආතර් සී. ක්ලාර්ක්ජෝර්ජ් කීට් වගේ අය ලංකාවේ මිනිස්සු නෙවෙයි කියන්න ද? එතකොට මර්සිලින් ජයකොඩි පියතුමා, නැත්නම් මොහිදින් බෙග් ගැන ගන්න තීරණය මොකක් ද? ‘හෙළයෝ’ කියන අය කියවන ටිබැට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ කවි. මොන දේ කරන්නත් කලිං මේ සිංහලයෝ බෞද්ධයෝ බෙදිල. ලෝක ජනගහනයෙන් සියයට 7ක් විතර බෞද්ධ ලෝකයේ සහයවත් අපිට ගන්න පුළුවන් ද?

මම අනුමාණෙට හිතනවා ලෝකයේ හොඳම නැත්නම් විචිත්රම ජාන සංචිතය තියෙන්නේ යුදෙවුවොන්ට. ඒ වගේ ලංකාවේ අපේ ජාන සංචිතයත් පුදුම විදිහට සංකීර්ණයි කියලමයි මට හිතෙන්නේ. පුදුමාකර විවිධාකර දක්ෂතා තියෙන අය අපි අතර ඉන්නේ. ඒකයි ලොකෙටම කරන්න බැරි වැඩ, හිතාගන්න බැරි වැඩ අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ජපානේ, චීනේ, ඉරානේ, ස්පාඥයේ, ඉතියෝපියාවේ, කියුබාවේ මිනිස්සු ගත්තොත් ගොඩාක් විට එකම වගේ. අපේ නෑදෑයින්ම සියක් විතර අරගගෙන එක පෙළකට තියෙල ඔහුන්නේ සමානතා බැලුවොත් අපේ ලේවල තියෙන ශූද්ධ බව දැනගන්න වෙන පරීක්ෂණ ඕන නෑ. ඒ සිය ඇතුළේ හැම හැඩයේම, හැම පාටේම මිනිස්සු ඉන්නවා කියන එක මට හොඳටම විශ්වාසයි. ඉතිං අපි ගාව ශුද්ධ ලේ ධාතුවක් තියේ ද? මේක හොඳටම මිශ්රණයක්. එකයි මෙච්චර විචිත්ර. අමිශ්ර වුනත් වැඩක් ද කරන්නේ මිශ්ර වැඩනම්. බ්රාහ්මණයා ද වසලයා ද කියන එක තීරණය කරන්න ඕන උපතින් නෙවෙයි, කරන වැඩවලින්. වඩා වැදගත් වෙන්නේ සංස්කෘතිය. ඒ සංස්කෘතියේ හර පද්ධතිය අනුව ජීවත් වීම. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ ඉන්න හැම දෙනාම, කතෝලික, මරක්කල, බෞද්ධ, හින්දු මොන ආගම ඇදහුවත් මේ රටේ දරුවෝ.

අපිට අවශ්ය මේ රටේ ජාතිකත්වය නැංවීම සඳහා පොදු වැඩපිළිවෙලක්. පොදු අනන්යතාව තුළ කේවල අනන්යතා රකින වැඩපිළිවෙලක්. විවිධ හේතු හදල මිනිසුන් බෙදා වෙන්කරන වැඩ නෙවෙයි. පොදු සාධක තුළින් මිනිසුන් එක් කරන වැඩ. ඒ හදන ජාතියට ඕන නමක් දාගන්න පුලුවන්. හැබැයි ප්රධාන සංරචකය වෙන්න ඕන ශිෂ්ටාචාරය ගොඩනඟපු සිංහල බෞද්ධත්වය. අනෙක් අය මේ මෑතක් වන තෙක් කළා වගේ ඒ තුළ තම අනන්යතා පවත්වා ගැනීමයි කළ යුත්තේ. ඒ හැර ප්රධාන ධාරාවට අභියෝග කිරීම නෙවෙයි. යමෙක් පොදු සුභසාධනයට නීතියට අභියෝග කරනවා නම් එය වැලැක්වීම නීති පද්ධතියේ වැඩක්. කොරොනා සිරුර අදාහණය කරනවා වගේ.

ශුද්ධ ජාතියක්, ශූද්ධ වූ ලේ ධාතුවක් හොයන්නේ මේ රටට ආදරේ අය නෙවෙයි. ඒක බුදු දහමෙවත් මහාවංසයේවත් සම්ප්රදාය නෙවෙයි. එහෙම හොයන අයට අවශය මේ රටේ අසමඟිය වපුරල යටි අරමුණු, සැඟවුණු අවශ්යතා සම්පූර්ණ කරගන්න. ඒකට අපේම කියන පිරිසක් සැදිපැහැදි ඉන්නවා. මේ දේ තේරුම් ගන්න බැරි මෝඩකමට, නැත්නම් කපටිකමට. යටිපෙළක් අවබෝධ කරගන්න බැරිවුනත් ඒ බව පිළිගන්න අකමැති බබාලාත් ඉන්නවා.

අද මේ අලුත් ප්රවනතා ගෙනත් ගොඩනඟන්න යන්නේ දුටුගැමුණු රජතුමා පැතූ ලෝකය නම් නෙමෙයි. අනගාරික ධර්මපාල තුමා පැතූ ලෝකයත් නෙමෙයි. අපේ රටේ බහුතර පිරිසකට ඕන රටත් නෙවෙයි. එහෙනම් කාට ඕන ලෝකය ද? පිළිතුර අනුව ජාතියේ අනාගතය තීරණය වෙයි. කළ යුත්තේ කුමක් ද තීරණය කළ යුත්තේ අපිමයි.

මේ සමඟ ඇති සිතියම ගත්තේ https://www.nextbigfuture.com වෙබ් අඩවියෙන්.

චන්දිම අඹන්වල

2020.04.20 / 00.35 AM

33. බලංගොඩ මිනිස් ගහණය, වාස්තු හා හුවමාරුව

අපි මේ ලඟ ලඟ සටහන් කීපයම කතාකරන්නේ අපේ බලංගොඩ මානවයා ගැනනේ. මේ සටහනත් ඒ හා සම්බන්ධයි. මේ ලංකාවේ මධ්යශිලා මානවයාගේ ගහණය, ගොඩනැඟිලි හා භාණ්ඩ හුවමාරුව ගැන. අපි දැනටමත් පැහැදිලි කරගෙන තියෙනවා ලංකාවේ මධ්යශිලා මිනිසුන් ලංකාව පුරාම වාසස්ථාන හදාගෙන සිටි බව. මිනිස් වාසයට නුසුදුසු පරිසරයක් හෝ බාධකයක් අපේ රටේ කොතනකවත් නෑ. අනෙක් අතට ලංකාවේ එක තැනක ඉදල තවත් තැනකට යන්න ලොකු කාලයක් ගතවෙන් නෑ. ඒ කියන්නේ මේ දිවයිනේ හෑම තැනක්ම මිනිස් වාසයට සුදුසුයි. ඒ නිසා ජනාවාස නැති තැනක් නෑ. පිහිටල තියෙන තැන අනුව මේ ජනාවාස එළිමහන් ජනාවාස හා තෙත් කලාපයේ හා අනෙකුත් ස්ථානයන්හි ඇති ගල්ලෙන් හා ගල් පියැසි කියල වෙන් කරන්න පුළුවන්.

අදින් වසර 28,500කට විතර ඉස්සෙල්ලා තෙත් කලාපයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට මිනිස්සු 0.1ක් ඉන්න ඇති කියලයි ඇස්තමේන්තු කරල තියෙන්නේ. ඒ කියන්නේ තෙත් කලාපයේ දි එක මිනිහෙකුට වර්ග කිලෝමීටර් 10ක් ඕන ජීවත් වෙන්න. පවුලේ පස් දෙනෙක් ඉන්නවා නම් වර්ග කිලෝමීටර් 50ක් ඕන ඒ පවුලට. දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දැන් ඉන්න දඩයක්කාර රැස්කරන්නන් ගැන කරපු මානවවංශ හොයාබැලිම් එක්ක සංසන්දනය කරලයි මේ අදහස් වලට ඇවිත් තියෙන්නේ. පහතරට වියළි කලාපයේ ජනඝණත්වය තෙත් කලාපයට වඩා හතර ගුණයක් විතර වැඩි ඇති. වියළි කලාපයේ දී වර්ග කිලෝමීටරයට මිනිසුන් 0.8 සිට 0.25 දක්වා ඉදල තියෙනවා. ඒ කියන්නේ වියළි කලාපයේ දී මිනිහෙකුට ජීවත් වෙන්න වර්ග කිලෝමීටර් 2-3ක් ඇති. පස් දෙනාගේ පවුලකට වර්ග කිලෝමීටර් 10-12ක්. කෙනෙකුට එකපාරටම හිතෙන්න පුළුවන් මේක හරිද කියලා. ටිකක් හොඳට හිතුවොත් තේරෙහි අද වුවත් වියළි කලාපයේ කැලයක් ඇතුළේ කන්න තියෙන දේවල් වැඩියි තෙත් කලාපයට වඩා. අපි සත්තු බලන්න යන්නෙත් වියළි කලාපේ කැලෑවලටනේ. බලංගොඩ මානවයා ගස්වල ඵලදාව හා දඩයමට සුදුසු සතුන්ගේ පැතිරීම අනුව සංචාරක ජීවිතයක් ගතකරල තියෙන්නේ. කලින්කලට තැනින්තැන ජනාවාස ඇතිකරගනිමින් සංචාරක ජීවිතයක් ගතකරල තියෙනවා.

බලංගොඩ මානවයා හිටිය ගල්ලෙන් ඇතුළේ ඉඩ සැලසුම්කරණය ගැන සෑහෙන තොරතුරු තවම හමුවෙලා නැහැ. එක හේතුව ලංකාවේ ප්රාග් ඓතිහාසික තොරතුරු තියෙන ගල්ලෙනක් තාම සම්පූර්ණයෙන් ම හෝ ඒ ගැන දැනගන්න ප්රමාණවත් විදිහට කැනීම් කරල නැ. කැනීම් කරන්නේ සීමිත ප්රමාණයක් පමණයි. නමුත් මානවවංශ සාදෘෂ්යය අනුව මේ ගැන අනුමානවලට එන්න පුළුවන්. දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ආදිවාසින් ගැන බලද්දි ඔවුන් ජීවත් වුනු පොදු ගල්ලෙන් තුළ සෑම පවුලකටම වෙන් වුණු බිම් කොටසක් තිබිල තියෙනවා. සෑම කෙනෙකුටම මීටර් භාගයක බිමක් තිබුණු බවත් සෑම පවුලකටම වෙනම ලිපක් තිබුණු බවත් ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා පෙන්වලා දිල තියෙනවා. මේ හා සමාන තත්වයක් අදින් වසර 16,000කට ඉස්සර කිතුල්ගල බෙලිලෙනේ තිබුණු බවට සාධක හමු වෙලා. ඒ විදිහටම විශ්කම්භය මීටර් 1ක විතර වෙන් වෙන් ලිප් තිබූ බවත් පැහැදිලියි.

බලංගොඩ මානවයාගේ වාස්තු ගැන බලද්දි ඒ පිළිබඳ පැරණිම සාධකත් ගල්ලෙන් තුළින් ලැබිල තියෙනවා. අවිස්සාවේල්ලට කිට්ටු කිතුල්ගල බෙලිලෙනින් අදින් වසර 16,000ක් විතර පරණයි කියල තහවුරු වුණු සක්කගල් බැම්ම තමා වාස්තු ගැන තියෙන පරණම සාධකය. අණ්ඩාකාර සක්ක බැම්මට ගල් වරි එකයි තිබුනේ. මැටි බදාම යොදන් නැතිව හදල තිබුණු මෙහි කොළ අතු ආවරණයක් තියෙන්න ඇති කියල ආචාර්ය දැරණියගල මැතිතුමා හිතනවා. බටදොඹලෙන පනාබැම්ම මේ සම්බන්ධයෙන් තියෙන අනික් පරණ සාධකය. ප්රධාන ලෙනට යාබද ගල් ආවරණයේ අන්තයක තිබුණු හෙල්මළු බෑවුමේ අඩක් මතුකරල තියෙනවා. ලෙනේ පස් ගිලාබහින එක වලක්වන්න ගල්ලෙනේ කෙළවර හදල තිබුණ බව හිතන්න පුළුවන් මේ බැම්ම සක්ක ගල් වරි දෙකකින් යුතුයි.

බෙල්ලන්බැඳිපැලැස්ස, කබරගල්ගේ, කිතුල්ගල බෙලිලෙන හා බටදොඹලෙන වගේ බලංගොඩ මානව ජනාවාසවලින් මුහුදු බෙලි කටු හමුවෙලා තියෙනවා. බටදොඹලෙන අදින් වසර 19,000ක් පරණ පස් තට්ටුවකින් මඩු වලිගයක් වගේම අදින් වසර 16,000ක් පරණ පස් තට්ටුවකින් මුහුදු බෙලිකට්ටක් ද ලැබිල තියෙනවා. මේ බෙලිකටු ලුණු සමඟ මිශ්ර වෙලා ආපු කලපු බෙල්ලන් විදිහට හඳුනගෙන තියෙනවා. ඉස්සර තිබුණු ලුණු පොල්කට්ට ගැන දන්න අයට මේ බෙල්ලා අලුත් නැහැ. ලුණු සමඟ හමුවන ලුණු බෙල්ලන්ගේ කොටස් කිතුල්ගල බෙලිලෙනින් අදින් වසර 30,000කට පෙර කාලයට අයිති පස් තට්ටුවකින් ද හමු වෙලා තියෙනවා. කිතුල්ගල බෙලිලෙනට ලුණු තැම්පතු ඇති ආසන්නම ස්ථානයට දුර කිලෝමීටර් 80ක්. මේ කලපු බෙල්ලන් රට මැද ගල්ගුහා ඇතුළට පැමිණි ආකාරය හරියට තේරුම් ගන්න ඕන. අපි දැන් දන්නවා අඩුම තරමින් මේ කතාකරන කාලයේ මුහුද මේ ගල්ගුහා යටකරගෙන තිබුනේ නැහැ. එහෙනම් මුහුදු කලපුවල තිබුණු ලුණුත් එක්ක මේ බෙල්ලෝ ගල්ගුහාවලට ගේන්න ඇති. ඒ කියන්නේ බලංගොඩ මිනිසා ලුණු ගැන දැනගෙන හිටිය විතරක් නෙවෙයි ලුණු තැම්පතු තියෙන තැනට ගිහිල්ල ඒවා ගෙනල්ලත් තියෙනවා. මේ පිළිබඳ තවදුරටත් බලද්දි මුහුදේ ඉන්න මඩු මාළුවා, කොටි මෝරා හා විවිධ බෙල්ලෝ පිළිබඳ සාධක රට මැද ගල්ලෙන් තුළින් හමුවීම නිසා හුවමාරුව පිළිබඳ පුළුල් කරුණු අනාවරණය කරගන්න පුළුවන්.

දැන් පැහැදිලියිනේ බලංගොඩ මානවයා කියන්නේ අපි හිතන තරම්ම නොදියුණු කෙනෙක් නෙමෙයි. පරිසරය ගැන අවබෝධයක් තිබුණු පරිසරයත් එක්ක සංවේදිව ජීවත් වෙච්ච කෙනෙක්. ඒ වගේම සිහියට ගන්න මේ වෙන කවුරුවකුත් නෙමෙයි. අපේම මුතුන්මිත්තෝ තමා.

මේ සමඟ තියෙන වැද්දන්ගේ රූපේ ගත්තේ www.storyofsrilanka.com වෙබ් අඩවියෙන් කියන එකත් ස්තූතිපූර්වකව ලියන්න ඕන.

චන්දිම අඹන්වල

2020.04.18 /12.56 PM

36. ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

1885 දී විතර සුදු ජාතිකයින් විසින් ඇරඹු ලංකාවේ ප්රාග් ඓතිහාසික අධ්යයන ඉහළම මට්ටමකට උස්සලා තිබ්බ විද්වතා ගැනයි මේ සටහන. ඒ හිටපු පුරාවිද්යා අධක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා. ලංකාවේ අවුරුදු 150ක් විතර පරණ ප්රාග් ඓතිහාසික පිරික්සුම් අතිතය කොටස් තුනකට බෙදන්න පුළුවන්. ආරම්භයේ ඉදල 1939 දක්වා ආරම්භක අවධිය, එතැන් සිට 1969 දක්වා අතරමැදි අවධිය හා 1969 ඉදල මේ දක්වා නූතන අවධිය කියලයි. මෙයින් රන් යුගය වුණු නූතන අවධියේ අසාමාන්ය සම්පත් දායකයා තමා මෙතුමා. එතුමා ගැන කතාකරන එකයි ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගය ගැන කතාකරන එකයි දෙකක් නෙවී එකක්.
1942 මාර්තු 1 මෙතුමා උපත ලැබුවේ ආචාර්ය පි.ඊ.පි. දැරණියගල මැතිතුමා හා ප්රීනි මොළමුරේ මැතිණිය දෙමාපියන් කරගෙන. ශ්රීමත් පෝල් ඊ. පිරිස් කියන්නේ සීයා. විද්වතුන්ගෙන් අඩු නැති පරපුරක්. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්යාලයෙන් තමා පාසල් අධ්යාපනය ලැබුවේ. 1963 දි වාස්තු විද්යාව, සංස්කෘත හා ලතීන් විෂයන් හදාරල ශාස්ත්රවේදී උපාධියත් 1966 දී ශාස්ත්රපති උපාධියත් ලන්ඩන් විශ්වවිද්යාලයෙන් ලබාගත්තා. පසුව එහි පුරාවිද්යා ආයතනයෙන් පුරාවිද්යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබූවේ වසරේ දක්ෂම පුරාවිද්යා ශිෂ්යාට හිමිවන ‘වී. ගෝර්ඩන් චයිල්ඩ්’ ත්යාගයත් දිනාගනිමින්. එංගලන්තය, පරංශය, ඉන්දියාව වගේ රටවල දී පළමු පෙළේ පුරාවිද්යාඥයන්ගේ ඇල්මබැල්ම සහිතවයි පුරාවිද්යාව ඉගෙන ගත්තේ. එංගලන්තේ ඉන්න කාලේ මෙතුමා නතරවෙලා හිටිය කියන්නේ ලෝක ප්රකට ලේඛිකාවක් වන අගතා ක්රිස්ටි මැතිණියගේ නිවසේ.
1968 දී මෙරටට පැමිණි මෙතුමා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ ‘කැනීම් හා ගවේෂණ සහකාර කොමසාරිස්’ වශයෙන් පත්වීමක් ලැබුවා. පියා විසින් කැනීම් කරල තිබුණු බෙල්ලන්බැඳිපැලැස්සේ දත්ත විශ්ලේෂණය කරමින් වැඩ ඇරඹුව මෙතුමා 1969 දී ලංකා පුරාවිද්යාවේ හැරවුම් ලක්ෂයක් වන අනුරාධපුරයේ ඇතුළු නුවර ගෙඩිගේ කැනීම තුළින් පරායෝගික පුරාවිද්යා වැඩවලට අත තිබ්බා. 1969 ඉදල මේ දක්වාම ලංකාවේ පුරාවිද්යා වැඩවලට දායක වෙන මෙතුමා අනුරාධපුර ඇතුළුනුවර කැනීම (1969), මහඑළිය ගවේෂණය (1970), බෙල්ලන්බැඳිපැළැස්ස කැනීම (1970), නැෙඟනහිර වෙරළ තීරයේ ගවේෂණය (1970), ඉරණමඩු පාංශු සැකැස්මේ ගවේෂණ හා කැනීම් (1971), ඇඹිලිපිටිය හා බූන්දල කැනීම (1972), හඳපාන් ඇල්ල හා තංගමලෙයි තැන්න ගවේෂණය (1978), කිතුල්ගල බෙලිලෙන කැනීම (1978-1983), කුරුවිට බටදොඹලෙන කැනීම (1980-1982), රාවණා ඇල්ල කැනීම (1985) තෙත් කලාපීය ගල්ලෙන් කැනීම් හා අනුරාධපුරයේ ඇතුළු නගරයේ කැනීම් (1980 දශකයෙන් පසු) වගේ රටේ හතරදිග් භාගයේම පුරාවිද්යා වැඩ විශාල ප්රමාණයකට මැදිහත් වෙලා තියෙනවා.
දකුණු ආසියානු කලාපීය ප්රාග් ඉතිහාසය අරඹයා ලියැවුණු ඉහළම නිබන්දනය වන Prehistory of Sri Lanka: an ecological perspective කියන නිබන්ධය 1988 දී ඇමරිකාවේ හාවර්ඩ් සරසවියට ඉදිරිපත් කරලා දර්ශනසූරි උපාධිය ලබා ගත්තා. මේ කෘතිය 1992 දි ලංකාවේ පළ වුනා. 1983-92 කාලයේ දී පුරාවිද්යා කැනීම් උපදේශක වශයෙන් හිටිය මෙතුමා 1992 වසරේ දි ලංකාවේ පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ලෙස පත් වෙනවා. ‘ජාතික පුරාවිද්යා ප්රතිපත්තිය’ හා ‘ශ්රී ලංකා පුරාවිද්යාවේ නියමු සැලැස්ම’ වගේ දේවල් මෙතුමාගේ මූලිකත්වයෙන් තමා සකස් වෙන්නේ. 1976 විතර හාවර්ඩ් විශ්වවිද්යාලයෙත් ඊට පස්සේ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය, පේරාදෙණිය හා රජරට වගේ විශ්වවිද්යාලවල බාහිර සම්පත් දායකයෙකු විදිහටත් වැඩ කරනවා. 1999 දී සබරගමු සරසවියෙන් විද්යාසූරි (D.Sc) සම්මාණය ලබපු මෙතුමා 2001 දී පේරාදෙණි සරසවියෙන් සාහිත්යසූරි (D.Litt) කියන ගෞරව සම්මානයත් ලබනවා.
කැනීම් අංශයේ පළමු සහකාර කොමසාරිස් වශයෙන් මෙතුමා පත්වීම තමා අපේ ප්රාග් ඉතිහාසයේ නැඟීම ආරම්භය. ලෝකයේ වර්ධනය වෙලා තිබුණු දැනුම, පරායෝගික වැඩ විතරක් නෙවෙයි උපන්යාස මුල්කරගත් පර්යේෂණ රාමුවක් ප්රාග් ඉතිහාසට ඉන් පස්සේ ලැබුනා. අපේ තිබුණු ප්රාග් ඓතිහාසික දත්ත න්යාය, කාලය, තාක්ෂණය, ජීවිකාව, ජනාවාස, කලාව, වත්පිළිවෙත්, සමාජ සංවිධානය, භෞතික මානවවිද්යාව හා පැරණි පරිසරය කියන මාතෘකා යටතේ වෙන් කළා. ඉරණමඩු පස් සැකැස්ම වගේම ගල්ලෙන් තැම්පතු පදනම් කරගෙන ගවේෂණ හා කැනීම් සූදානම් කළා. පස් තට්ටු හා සංසිද්ධිගත අංක යෙදීම අනුව කැනීම් ඇරඹුවා. 1969 දී අනුරාධපුර ඇතුළුනුවරයි 1970 දී බෙල්ලන්බැඳිපැළැස්සයි තමා පස් තට්ටු කැනීම් ක්රම ඉස්සෙල්ලම යොදාගත්තේ. ප්රාග් ඉතිහාසයට භූ විද්යා හා දේශගුණ සාධක බල පෑ ආකාරය විමර්ශනය වූනේ මෙතුමාගේ පර්යේෂණ වලින්. මේ වැඩ සඳහා විශේෂ පුහුණුවක් තියෙන කණ්ඩායමක් මෙතුමා හදා ගත්තා. ශිලා මෙවලම්, පස් තට්ටු අධ්යයන හා සාම්පල ලබා ගැනීම වගේ දේවලට ආචාර්ය ඩබ්ලියු.එච්. විජේපාලආචාර්ය එච්.නිමල් පෙරේරානාමල් කොඩිතුවක්කුඑල්.ඒ. ද මැල් වගේ අය සම්පත් පුද්ගලයින් බවට පත් කළා.
අපේ ප්රාග් ඉතිහාසය ගැන තිබුණු ගැටලු බොහොමයක් මෙතුමා විසඳුවා. ප්රාග් ඓතිහාසික යුග ගැන පැහැදිළි අවබෝධයක් ලැබුනේ මෙයින් පස්සේ. ඉරණමඩු පස් සැකැස්මේ කරපු පර්යේෂණවලින් ලංකාවේ පුරාශිලා යුගයක් ස්ථිරව තිබුණු බවත් එය වසර 125,000ක් හෝ ඊටත් එහා පරණ වෙන්න පුළුවන් කියලත් තහවුරු වුනා. ලංකාවේ වෙරළබඩ වගේම තෙත් කලාපයේ ගල්ලෙන් හා එළිමහන් ස්ථානවල සිදුකළ අධ්යයන මඟින් මධ්යශිලා යුගය ගැන පැහැදිලි අදහස් ඉදිරිපත් වුනා. බලංගොඩ මිනිසාගේ ශරීරයේ හැටි, කෑමබීම හා නවාතැන්, තාක්ෂණය, ආගම හා අභිචාර වගේම පරිසරය ආදි ඒ මිනිස්සු සමඟ සම්බන්ධ සියලුම දේවල් පිළිබඳ විධිමත්ව කරුණු ගොනු කළා. නවීන මිනිසා පිළිබඳ ආසියානු කලාපයෙන්ම ලැබෙන පැරණිම සාධක මෙරටින් ලැබෙන බවත් අදින් අවුරුදු 28,000කට එහා කාලයේ දී ‘ජ්යාමිතික ක්ෂද්රශිලා මෙවලම්’ ලෝකයෙන්ම මුළින්ම මෙරට පැවති බව පෙන්වා දුන්නෙත් මෙතුමයි. මේ නිසා අපේ රටට ලෝකයේම අවධානය යොමු වුනා. ප්රාග් ඓතිහාසික යුගයේ සිට ප්රොටෝ ඓතිහාසික යුගය හරහා ඓතිහාසික යුගය දක්වා අපේ අතීතය ගමන් කළ ආකාරය විධිමත් ව පැහැදිලි වුනා. අද අපි කවුරුත් කරන වැඩ තියෙන්නේ ‘දැරණියගල සුසමාදර්ශය’ ඇතුළෙම තමා.
මෙතුමාගේ වැඩ අතර අනර්ඝම දෙයක් තමා ප්රාග් ඓතිහාසික ශිලා මෙවලම් වර්ගීකරණය. ලංකාවෙන් හමුවුණු ගල් මෙවළම් 200,000 වැඩි ගණනක් බලල ගල් මෙවලම් මූලික පංති (class) xixකටත්, මාදිළි (type) 115කටත් බෙදල තියෙනවා. අපි හැමෝම දන්නවානේ ලංකාවෙ කියන්නේ පෙර’පර දෙදිග වෙළෙඳ මධ්යස්ථානයක් කියල. ඒ නිසා මේ හැම තැනම තියෙන දේවල් අපේ රටෙන් හමුවෙනවා. ඉතිං මෙතුමා අනුරාධපුර ඇතුළු නගරයෙන් හමුවුණු මැටිබඳුන් ගැන කරල තියෙන වර්ගීකරණයෙ වටිනාකම නිමක් නැහැ. අවාසනාවට තාම පළවෙලා නෑ. මෙතුමාගේ වැඩවලින් ඉතාම වැදගත් තවත් දෙයක් තමා දකුණු ආසියාතික කලාපයේ බ්රාහ්මී අක්ෂර ක්රිස්තු පූර්ව 6-7 සියවස් දක්වා කාලයකට ගමන් කරනවා කියල තහවුරු කළ එක. ඒ අනුරාධපුර ඇතුළු නගරයේ සාධකවලින්. ඒ ගැන වෙනම සටහනක් ඇති මේ සටහන් ගොන්නේ.
ලංකාවේ ප්රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා විධිමත් රාමුවක් හදල අනාගත පර්යේෂණ ඉලක්ක පෙන්වලා දුන්නු එකත් කළේ මෙතුමා. ඉරණමඩු පස් සැකැස්ම හා පුරාශිලා යුගය පිළිබඳව හොයාබැලීම්, නවශිලා යුගය පිළිබඳ අවධානය යොමු කිරීම මෙන් ම ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා වූ සංක්රාන්ති අවධිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීම කියන්නේ ඒ අතුරින් දෙකතුනක් විතරයි. කවුරු කොහොම කිවුවත් අපිට තියෙන සීමිත ප්රාග් ඓතිහාසික ගල්ලෙන් තැම්පතු දැඩි ප්රතිපත්තියක් යටතේ ආරක්ෂා කිරීමට පියවර ගැනීමත් කාලෝචිත වැදගත් දෙයක්.
අපේ පුරාවිද්යා වංසකතාවේ ප්රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නියමුවා වන සිරාන් දැරණියගල මැතිතුමා දශක පහක් ඉක්ම වූ කාලයේ ලබා දී ඇති දායකත්වය ප්රමාණ කරන්නත් බැහැ, නූතන මානවයාගේ කතාවේදි අමතක කරන්නත් බැහැ. ලංකාවේ ප්රාග් ඉතිහාසයට අදාළව අපි ලියනකියන දේවලින් වැඩි හරියක් මෙතුමගේ මැදිහත් වීමෙන් අනාවරණය වුණු ඒව. ‘ඇමරිකන් ඇන්ත්රොපොලොජීස්ට්’ සඟරාවේ තිබුණු ආකාරයට මෙතුමාගේ පොත දේශීය ප්රාග් ඉතිහාසය හැදෑරීමේ ගුරු අත්පොත වශයෙන් බොහෝ කාලයක් පවතින අයුරින්ම දේශීය ප්රාග් ඓතිහාසික අධ්යයන කෙතෙක් කල් පවතී ද ඒ තාක් කල් සිරාන් දැරණියගල හා ඔහුගේ මත ද යටපත් කරන්න බැහැ. මගේ කලින් සටහනකට මෙතුමාගේ ගම්පලාතේම කෙනෙක් වෙන්න ඉඩ තියෙන Thanushka Sisirasena මැතිතුමා දක්වල තිබුණු පහත කොමෙන්ටුව මේ විශ්ව විද්වතා ගැන යමක් අවබෝධ කරගැනීමට රුකුලක් කියල හිතනවා.
ලෝකෙම ප්රසිද්ධ පුරාවිදු තුමා.. නමුත් අපේ ගමට එක්නැලිගොඩ වලව්වෙ අප්පො..
හරිම නිහතමානි සරල වියතෙක්
චන්දිම අඹන්වල
2020.04.24 / 10.53 AM

43. සොරබොර (බදුලු) ටැම් ලිපිය

සෙල්ලිපි පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන හිතවතුන් සඳහාම ලියන සටහනක් මේ. අපේ රටේ කාටකාටත් යම් පමණකට හෝ මේ කතාකරන දේ පිළිබඳ වැටහීමක් තියෙනවා නම් හොඳයි කියලයි මේ ලේඛකයා හිතන්නේ. අවුරුදු දාහකට විතර ඈත කාලයේ අපේ රටේ නීතිය, සමාජ හැඩය, වෙළෙඳපොළ වගේම අර්ථක්රමය ගැනත් සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන් ‘බදුලු ටැම් ලිපිය’ ගැනයි මේ සටහන තියන්නේ.
දැන් මේ ලිපිය බදුල්ලේ, මහජන පුස්තකාලේ ඇතුළේ ආරක්ෂිතව පිහිටුවලා තියෙන ආකාරය දැකගන්න පුළුවන් වුනත් මේ ලිපිය ලැබිල තියෙන්නේ මහියංගනය කිට්ටුව සොරබොර වැව ආසන්නයේ තිබිල. 1870 දී විතර මේ වැව අලුත්වැඩියා කරද්දි හමුවුණු මේ ලිපිය සටහන් කළ ගල් කණුව බදුල්ලට ගෙනහින් මහනුවර බණ්ඩාරවෙල මාර්ගය අද්දර පිහිටි බදුල්ල කච්චේරිය අසළ මංසන්ධියක පිහිටුවලා තියෙනවා. ඊටත් පස්සේ තමා මේ ලිපිය සහිත ගල්කණුව දැන් ඇති තැන පිහිටුවල තියෙන්නේ. මේ ලිපිය බදුල්ල කච්චේරිය ආසන්නයේ තිබුණු නිසා ‘බදුලු ටැම් ලිපිය’ කියලත් කියනවා. ලිපියේ ඇති ‘හොපිටිගමු’ වෙළෙඳපොළ නිසා ‘හෝපිටිගමු ලිපිය’ කියලත් කියනවා. 1857 දී මේ ලිපිය ඉස්සෙල්ලම වාර්තා කරල තියෙන්නේ බදුල්ලේ උප දිසාපති ජෝන් බේලි මැතිතුමා. ඊට පස්සේ 1870 දී තමයි බදුල්ලට ගෙනල්ලා තියෙන්නේ. Manual of Uva කෘතිය තුළින් ඌව පළාත ගැන අගනා විස්තරයක් සපයපු හර්බට් වයිට් මැතිතුමාත් මේ ලිපිය ගැන දක්වලා තියෙනවා. ඊටත් පස්සේ ඒ කියන්නේ 1920 දී එච්.ඩබ්ලියු. කොඩ්රින්ටන් මැතිතුමා මේ ලිපියේ නෙත් පිටපතක් සකස් කරල එවකට පුරාවිද්යා කොමසාරිස්ට දුන් බවත් වාර්තා වෙනවා. 1933 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා මේ ලිපියේ සංස්කරණයක් Epigraphia Zeylanica කෘතියේ තුන්වැනි කාණ්ඩයේ පළ කරල තියෙනවා. ඊටත් පස්සේ එතුමාම එහි වර්ධනය කළ සංස්කරණයක් Epigraphia Zeylanica කෘතියේ පස් වැනි කාණ්ඩයේ පළ කරල තියෙනවා. මෑතක දී මහාචාර්ය සිරිමල් රණවැල්ල මැතිතුමා Inscriptions of Ceylon කෘතියේ V වැනි වෙළුමේ II කොටසේ මේ සම්බන්ධ සංස්කරණයක් පළකරල තියෙනවා.
ලිපිය සහිත මේ ගල් ටැඹ අඩි 11 අඟල් 8ක් විතර උසයි. දෙපැත්තක පළල අඟල් 9ක් හා අනෙක් දෙපස අගල් 10ක්. හතර පැත්තේම අඩි 8ක විතර උසට ලිපිය සටහන් කරල තියෙනවා. මේ ලිපියේ අකුරු අඟල් බාගයේ ඉදල අඟල් 1 දක්වා පැතිරෙනවා. ගල් ටැඹේ එක් එක් පැතිවල 47, 49, 49 හා 58 බැගින් පේළි වශයෙන් ලිපිය සටහන් කරල තියෙනවා. සම්පූර්ණ පේළි 203කින් යුතු මේ ලිපිය අකුරු දෙ දහසකින් පමණ සමන්විතයි. පරණවිතානයන්ට අනුව මේ තරම් කුඩා අකුරු ඇති සිංහල ලිපියක් එතුමා දැකල නැහැ.
අකුරුවල හැඩ අනුව මේ ලිපිය ක්රිස්තු වර්ෂ 10 වැනි සියවසේ මැද කාලයට අයිතියි කියලයි පරණවිතාන මැතිතුමා නිශ්චය කරන්නේ. ‘අ’, ‘ඉ’, ‘ක’ හා ‘බ’ වගේ අකුරු විවිධ හැඩයෙන් යුතු වීමත් විශේෂයක්. එකම ලිපියේ එකම අකුරු එක එක විදිහට. ලිපියේම දැක්වෙන ආකාරයට ‘සිරි සඟබො උදා මහරජුගේ දෙවන වසරේ’ තමා මේ ලිපිය ලියල තියෙන්නේ. සෙනරත් පරණවිතානයන් මේ කතුවරයා ක්රිස්තු වර්ෂ 935 සිට 938 දක්වා රජ කළ තුන් වැනි උදය රජු වශයෙන් හඳුනාගෙන තියෙනවා. මහාචාර්ය සිරිමල් රණවැල්ල මැතිතුමා මේ රජු ක්රිස්තු වර්ෂ 946 ඉදල 954 දක්වා රජ කළ හතර වැනි උදය රජු වශයෙනුයි හඳුනාගෙන ඇත්තේ.
මේ ලිපියේ බස හා හැඩතල ගැන දළ අදහසක් ඇතිකරගන්න ලිපියේ මුල් කොටසට පොඩි අවධානයක් යොමු කරමු.

පෙළ : සිරිබර කැත්කුල කොත් උකාවස් රද්පරපුරෙන් බට් ලක්දිව්පොළොයොන පරපුරෙන් හිමි වූ ඒ මේ කුලෙන් බට් සමුදගොන් බිසොරැදැනයැ උපැදැ ඈපා මහයා සිරි විදැ පිළිවෙළ සෙ රැදැ පැමිණැ රැදැ කළ සිරිසඟබො උදා මහරදහුතුමා සත් ලැඟු දෙවන හවුරුදුයෙහි නිකින්නි සන්ද් අව …

සරළ අරුත : සිරිමත් ක්ෂත්රීය කුලයේ ඉපදුණු ඔක්කාක රජ පරපුරෙන් බිහි වූ ලංකා ද්වීපය නම් යවුවනිය පරම්පරාවෙන් අයිති වූ එම මෙහෙ කුලයෙන් ප්රභින්න වූ සමුදගොන් බිසො මව් වශයෙන් ඉපිද ඈපා මහයා තනතුරු දරා පිළිවෙළින් රාජ්යත්වයට පැමිණ රජ වූ සිරි සංගබෝධි උයද මහරජතුමා සේසත් නැං වූ දෙ වැනි අවුරුද්දේ නිකිනි මාසයේ චන්ද්රයාගේ ගෙවෙන කාලයේ …
මේ ලිපිය පිහිටුවන්න බල පෑ කාරණයත් මේ ලිපියේ ම තියෙනවා. මෙ ලිපිය පිහිටුවල තිබුණේ සොරබොර වැව අසළ පැවති වෙළෙඳ පොළක. එතැන අනීතික වැඩ වෙලා. රජතුමා මියුගුණ විහාරය වඳින්න ආපු වෙලාවේ වෙළෙඳපොළට සම්බන්ධ අය කෑ ගසා මේ අවනඩුව රජතුමාට කියනවා. පෙර කළ ව්යවස්ථා නොසලකමින් දඩ හා නොසිරිත් පඬුරු ගත් බව දැනගත් හෙයින් නීති ඇතුළත් ලිපිය පිහිටුවන්න කටයුතු කළා. ඒ බව ලිපියේ කියල තියෙන්නේ මේ විදිහට.
සොරබරහි ආවු හොපිටිගමු පදියැ වැපාරයන් කුසින් වත්හිමියන් වහන්සේ මියුගුණමහවෙහෙර වැඩි කලැ ගියදවසැ පදිලද්දඩනායකයන් ගැත්තන් සතලොසැ පිරිනිවියන් වහන්සේ දවස කළ වැවස්ථා ඉක් මැ අන්නෑයෙන් දඩ ගත්හ නොසිරිත් පඩුරු ගත්හ ගමින් වියෙයිසි වැඩිතැනැ දැන් වු තැනින් සතළොසැ වහන්සෙ දවසැ කළ සිරිතක් මිසැ අන්නෑයෙන් කරන දැයක් නොකරන්නෙයැයි සබව්යවස්ථාවක් ලියවා තබන්නෙයි වදාළෙන් සභායෙ ලෙකම්ගෙයි සම්දරුවන් හින්දැ සිටි වු වැවස්ථා සිරිති
මේ දැක්වෙන ආකාරයට රජයේ නිළධාරින් විසින් මේ නීති පද්ධතිය සහිත කණුව පිහිටුවා ඇත. මේ නිති ව්යවස්ථාවලින් බොහෝමයක් අදාළ වෙන්නේ රජයේ නිලධාරින්ටමයි. මේ ලිපියේ කරුණු මහගොඩක් තියෙනවා. ඒත් ලිපිය දික්වන එක වලක්වන්නත් එක්ක එයින් කරුණු කීපයක් කෙටියෙන් දක්වන්නම්.
  • පෙර සිරිත් දඩ මිස අනියම් දඩ නොගත යුතුයි
  • යමෙකුඩ දඩුවමක් කරනවා නම් එය වෙනත් ස්ථානයක සිදුනොකර එම ස්ථානයේම කළ යුතුයි.
  • නොගෙවූ දඩ සඳහා වැලැක්මේ නොගත යුතුයි. දඩය අදාළ පුද්ගලයාගෙන්ම අයකරගන්නවා මිස අඹුදරුවන් වැලැක්මේ නොගත යුතුයි
  • ගමට පැමිණි රාජකීය නිළධාරින් රහමස් දිහිතෙල් නොගත යුතුයි
  • වතුවලට පැමිණ රහ නොගත යුතුයි
  • සොර වෙළෙඳාම් නොකළ යුතුයි
  • පොහොය දිනයක වෙළෙඳ ශාලා විවෘත කරන්නේ නම් වෙහෙරට තෙල් දිය යුතුයි. එම තෙල්වලින් මහියන්ගණ වෙහෙර පිදිය යුතුයි. එසේ නොදුන්නහොත් පෙර සම්මත ගණන පමණක් දඩ ගත යුතුයි.
  • බඩුගෙන එන අයගේ ගොනුන් නොගත යුතුයි
  • පදි වදිනා (වෙළෙඳ නගරයට ගෙනඑන) බඩු පෙරමඟට ගොස් නොගත යුතුයි
  • සම්මත මිනුමෙන් මිස වෙනත් මිනුම්වලින් බඩු නොමැනිය යුතුයි
  • ගමට ගෙනවිත් විකුණන බඩු සඳහා බඳු ගන්නවා මිස නොවිකිණි බඩු සඳහා බඳු නොගත යුතුයි
  • බුලත්පුවක් මණ්ඩපයක් මත තබා මිස නුසුදුසු තැන තබා නො විකිණිය යුතුයි
  • මෙහෙකරුවන්ට කරදර නොකළ යුතුයි
  • විවිධ තරාතිරම්වල රාජ්ය නිළධාරින් පැමින විට පෙර සම්මත ගාස්තු පමණක් ගෙවිය යුතුයි
  • මේ ව්යවස්ථා උල්ලංඝණය කරන අවස්ථාවලදි නිළධාරින්ට දන්වා ඒවා නිවැරදි කළ යුතුයි
මේ ලිපිය පිහිටුවීමත් රාජ්ය නිළධාරින් කීප දෙනෙකුගේ මැදිහත් වීමෙන් සිදු වී ඇත. ඒ අනුව, තලින්නරු උදමණිතිලා සෙන්, සෙනෙවි නමලා වරැ මෙකාප්පර් මණිතිලැ තාරුමගලවෑ මිණිගොළගමු නිලා දෙවල, මගුල් මහාලෙ සමන්නා අරක්සමණන් වරැ කුඩසලා වත්කැමි දෙවු ඇතුළු අධිකරණ හා පරිපාලනය සම්බන්ධ රාජ්ය නිලධාරින් මේ සඳහා සම්බන්ධ වූ බව ලිපියේ අවසානයේ දක්වා ඇත. හොරබොර ටැම් ලිපියේ ඇති දේ අනුව අදින් වසර දාහකට එහා කාලයේත් අද වගේම වෙළඳාම සම්බන්ධ කූටකම් මෙන්ම රාජ්ය නිළධාරින්ගේ අසාධරණකම් කළ බව පෙනේ. එහෙන්ම එකල විධිමත් වෙළෙඳපොළ කටයුතු මෙන්ම පාලකයින් පාලිතයින් කෙරෙහි සංවේදි වූ අයුරුත් පෙනේ.
මේත් අපේ රටේ ඉතිහාසය. ලාංකේයන් වෙච්චි අපෙන් බොහොමයක් මේ දේවල් දන්නේ අඩුවෙන්. මෙවැනි දේ ගැන දැනුවත්ව රටේ ඉතිහාසයට සාධාරණයක් කිරීම නියම දේශප්රෙමින්ගේ යුතුකමක් බවත් ලියන්න ඕන.
මේ සටහන සමඟ ඇති වැවේ පින්තූරය https://en.wikipedia.org අඩවියෙන් හා ගල්කණුවේ පින්තූරය www.archaeology.lk වෙබ් අඩවියෙන් ගත් බව කාරුණිකව දක්වන්න කැමතියි.
චන්දිම අඹන්වල
2020.05.06. / 08.23 PM

42. පුරාණ පංසල් සුරැකීම ගැන අදහසක්

දින කීපයක විරාමයකින් පසුයි මේ මේ සටහන ලියන්නේ. දැන් දැන් මේ සටහන් පෙළ නවතන්නත් කාලය ආසන්න බවයි පේන්නේ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑනේ කියලත් කියමනක් තියෙනවානේ. වෙසක් සතියේ ඉදිරිපත් කරන මේ කෙටි සටහනින් ඉදිරිපත් කරන්නෙක් අපේ සමාජයේ සැලකිය යුතු පිරිසකට සංවේදි දෙයක් ගැන. සමහර අයට මේ මාතෘකාව ගැන අදහස් ඇති එක් කරන්න. තවත් පිරිසකට කුතුහලයක් ඇති මේ දේ ගැන දැනගන්න. ප්රකට පාඥයෙකු වූ ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමත් පහුගිය දවස්වල මේ ගැන අදහස් දක්වලා සංවාදයක් මතු කරන්න කටයුතු කළ බවත් මෙතැන දී කියන්න ඕන.
අනුරාධපුරේ යන සමහරු අහනදකින දෙයක් තමා රුවන්වැලි සෑය, ථූපාරාමය වගේ ස්තූප කිරිපාටින් බබලද්දි ජේතවන, අභයගිරි ස්තූප ගඩොළු ගොඩවල් විදිහට නැත්නම් බාගෙට හදල වගේ තියෙන විදිහ. ජේතවන-අභයගිරි ස්තූප හදල නැත්නම් සංරක්ෂණය කරල ඉවර කරන්නේ කවදද කියලත් මේ ලේඛකයගේ හිතවතුන් අහල තියෙනවා. මේ සරළ ප්රශ්නයක් වුනාට අපේ පුරාවිද්යාව නැත්නම් සමාජය තුළ අති සංවේදි වගේම බැරෑරුම් ප්රශ්නයක්. අන්ත දෙකක ගැටීමක මුලක්. මේ සටහනින් කතා කරන්න යන්නේ ලංකාවේ පැරණි ගොඩනැඟිලි නැත්නම් පැරණි ස්තූප සංරක්ෂණය ගැනයි. මේ අදහස් ගොන්න අපි ඉස්සෙල්ලම ප්රසිද්ධියේ කිවුවේ 2009 දි විතර,
මේ සම්බන්ධ ලංකාවේ ලොකුම සභා දෙකක දී. එක තැනක් රාජකීය ආසියාතික සංගමයේ වාර්ෂික පර්යේෂණ සැසිය. අනික වාර්ෂිකව පැවති ජාතික පුරාවිද්යා පර්යේෂණ සැසිය. සැලකිය යුතු පිරිසක් මේ අදහස්වලට ඇහුම්කම් දුන්නත් ප්රතිචාර ලැබුනේ අඩුවෙන්. පුරාවිද්යාවට සම්බන්ධ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ප්රතිචාර දැක්වුවා, හැබැයි අපේ අදහසට සම්පූර්ණ විරුද්ධව. මට දැනෙන විදිහට අදත් පුරාවිද්යාවට සම්බන්ධ අය මේ අදහසට විරුද්ධ වෙනවා. ඉස්සරට වඩා දැන් තත්ත්වේ ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. කමක් නෑ මේ අදහට වෙනුවෙන් අපි එදත් පෙනී සිටියා අදත් ඉන්නවා. මේ කියවන ඔයාලත් හිතලබලල අදහස් දක්වන්න මේ ගැන. මේ කතාව අපි ඔක්කොටම සම්බන්ධ වගේම අයිති දෙයක් ගැනනේ.
මිනිස්සු තමන් අවට තිබුණු පරිසරයත් එක්ක ඇතිකරගත් සම්බන්ධතාවේ ඵලයක් විදිහටයි අපිට අල්ලන්න දකින්න පුළුවන් සංස්කෘතික උරුමය බිහි වෙන්නේ. ඒ අනුව උරුමය කියන්නේ අපිට අනන්ය වෙච්චි දෙයක්. තවත් විදිහටකට බැල්වොත් ‘අපේ පුරාණ පරපුර නිමවල අපේ පරපුරට අයිති කරල දුන්නු ඒ වගේම අපි අපේ අනාගත පරපුරට හිමිකර දියයුතු යැයි හිතන අතීත මිනිසා හෝ හැදියාව එක්ක තදින් බැඳුණු දේවල් ස්පර්ශනීය සංස්කෘතික උරුමය කියල හඳුනා ගන්නවා. අපිට උරුම වුණු ඒ දේවල් අපේ ඉදිරි පරපුරට ලබාදීම අපිට හිමි විශේෂ වගකීමක් කියන එක ආයේ ආයේ කියන්න අවශ්යතාවක් නෑනේ.
කිතුවසින් 20 වැනි සියවසේ දෙවැනි කොටසේ දි පමණ ‘උරුමය’ අර්ථදක්වල එහි වටිනාකම් වගේම ආරක්ෂා කරගැනීමේ වැදගත්කමත්, විධික්රමත් බටහිර ජනයා වෙතින් තමා කලඑළි බැස්සේ. ඒකට ගැලපෙන දේශපාලන හා සමාජ-ආර්ථික කාරණාත් පිළිවෙලට පෙළගැහිල තිබුණා. ඉතිං අදවන විට ලෝකයේ හෑම රටකටම වාගේ මේ වැඩුණු අදහස් බලපෑම් කරල තියෙනවා. පෙරදිග හැදියාවට හා හිතනපතට ක්රමයට බොහෝම වෙනස් පසුබිමක් තුළින් ඇති වූ මේ අදහස් ගොන්න අපේ අතීත මිනිසුන් විසින් නිමවන ලද උරුමය පැහැදිලි කරන්න නැත්නම් ඒ ගැන ක්රියාකරන්න කොච්චර හොඳද කියල අපේම රාමුවක් ඇතුළේ ඉදල හිතන්න අපේ බලධාරීන් සමත් වෙලා නැහැ වගේ. ඉතිං දැන් අපිවත් මේ ගැන කතා පොජ්ජක් දමන්න ඕන. හුදු ජාතිකත්වය හිතේ පැළකරගෙන නැත්නම් හැඟීමට වහල්වෙලා මේ ප්රශ්නයට උත්තර හොයන්න යන එක තමන් විසින්ම වළ කපාගැනීමක් කියන එකත් මතක් කරල ඉන්න කැමතියි. මෙතැන දී බටහිර දැනුම සම්පූර්නයෙන්ම අතහැරලා දාන්නත් බෑ.
ඒරොප්ප පදනම් වෙච්ච සමාජ-සංස්කෘතික පසුබිමක උරුම ගොඩනැඟිලිවලට monument කියලයි කියන්නේ. ඒ වචනය සිංහලට දාල තියෙන්නේ ‘ස්මාරක’ කියල. ඉතිං මේ ස්මාරක සංරක්ෂණ සඳහා විවිධ සංකල්ප ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මඟින් ස්මාරක ආරක්ෂා කරල ඒවායේ ජීව කාලය වැඩි කරල ලබාගත යුතු ප්රයෝජන අරගෙන අනාගත පරපුරට ලබාදීමයි අදහස් කරන්නේ. ‘අවම මැදිහත් වීම තුළින් උපරීම ප්රතිඵල නෙලා ගැනීම’ යන අදහසයි තමා මේ ක්රමයේ දී පදනම් අදහස වෙලා තියෙන්නේ. ඒ නිසයි ජේතවන ස්තූපය රුවන්වැලි සෑය හුණුපිරියම් කරන්න නැතිව ගඩොළු ගොඩක් විදිහට තියෙන්නේ. monument එකක් අපට හමුවන විට පැවති ආකාරයෙන්ම පවත්වා ගැනීම වැදගත් බවයි අවධාරණය කරන අතර Bernard Melchior Feilden විද්වතා Conservation of Historic Buildings නම් පොතේ මේ මැදිහත් වීමේ කරම ගැන හොඳින් පැහැදිලි කරල තියෙනවා.
දැන් අපි නැවත බලමු අපේ උරුමය ගැන. සියයට අනු පහකට වඩා තියෙන්නේ පරණ පංසල්. භික්ෂූන් වහන්සේලා වැඩවාසය කළ තැන්. මිනිස්සු වැදුම්පිදුම් කළ තැන්. වැඬේ කියන්නේ ඒ වැදපුපුදපු අයගේ පරපුරු නැත්නම් සම්ප්රදාය තාම තියෙනවා. අතීතයේ ගල්ලෙන් වෙහෙරවිහාර පුද ලැබූ සඝ පරපුර අදත් මෙරට වැඩවාසය කරනවා. ඒ පැරණි ස්තූප, පිළිම වලට නිවන් පතා බැතියෙන් වදිනපුදන අය අදත් ඉන්නවා. ඒ කියන්නේ මේවා ජීවමානයි. එරොප්පේ අයගේ ස්මාරක කියන හැඳින්වීම මේවට ගැලපෙන් නෑ. මේවා තාම පංසල්, පුදබිම්. සද්භාවයෙන් කළත් සපුරාම වෙනස් හැදියාවක පසුබිමක හැදුණුවැඩුණු සංකල්ප ඊට වෙනස් තැනක පැළකරන්න ගියහම ඇතිවන පරතරය උපදවන්නේ අපි බලාපොරොත්තු වන ප්රතිඵලයම නෙවෙයි. ඒකනේ ‘අගත අනගත චතුදිශ ශගශ’ කියල පරිත්යාගශීලින් පුදකළ ගල්ලෙන්වන වැඩවාසය කරන්න එන භික්ෂූන් වහන්සේලාට පුරාවස්තු ආඥාපනත අනුව හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.
ලංකාවේ හිටිය රජවරු දානපතියන් වෙහෙරවිහාර හැදුවේ වදින්නපුදන්න. එය නිවනට මඟක් කරගන්න. අපේ සම්ප්රදාය වුනේ විනාශ වුණු, වෙහෙරවිහාර පිළිම ආදිය කටුකොහොල් ඇරල පෙර තිබූ තත්ත්වයට පත් කරන එක. මේ ගැන උදාහරණ සියගණනක් අපේ වංශකතාවල තියෙනවා. සෙල්ලිපිවලත් සටහන් වෙනවා. කැඩුණුබිඳුණු ඒවාට වැදුම්පිදුම් කරන්න අපේ කැමැත්තක් නැහැ. රුවන්වැලිසෑය වැදල ජේතවන ස්තූපය බලන්න යන්න වෙලා තියෙන්නේ එහෙම නැත්නම් අභයගිරි ස්තූපය හදල ඉවර නෑ කියල අපේ හිතට දැනෙන්නේ අපි බටහිර සම්ප්රදාය ගුරුකරගත් නිසයි.
ජපානය වගේ රටවල් නම් තමන්ගේම කරමයට මේ දේවල් සංරක්ෂණය කරන්න උත්සාහ ගන්න බව පේනවා. ඒයාලා එයාලගේ සම්ප්රදාය බටහිර තාක්ෂණයත් එක්ක හරිහරියට ගලපලා වැඩේ කරගන්නවා. මේ සඳහා අවශ්ය න්යායාත්මක කරුණු Nara ලේඛනය හා තවත් ලියැවිලි කීපයකින්ම ලැබෙනවා. උරුම සංරක්ෂණ සංකල්ප තුළ මේ ගැන දැන් සංවාදයක් ඇරඹිලා තියෙනවා. උත්ප්රාසය කියන්නේ අපේ ක්රමයට කරන්න කියන දැක්ම ඇති කරන්නෙත් බටහිර දැනුම් සාකච්ඡාවක් තුළම වීමයි.
අපේ රටට බටහිර ජාතින් ආවේ අපිට ආදරයට නෙවෙයි කියලා අපි දන්නවා. ඔවුන්ගේ යුධ හා පරිපාලන වැඩ සඳහා හදපු ගොඩනැඟිලි අපි ‘යටත්විජිත උරුමය’ (colonial heritage) කියල නඩත්තු කරනවා. ඍජුව කොහොම වුවත් වක්රව අපි තුළ යටත් විජිතවාදි පරාධීන මනසක් අපි තුළ තවදුරටත් පවත්වාගෙන යාමට මෙය ඉවහල් වන බව මේ ලේඛකයාගේ අදහසයි.
නාරංවිට සුමනසාර හාමුදුරුවෝ මුල් වෙලා රුවන්වැලි සෑ චෛත්ය වර්ධන සමිතිය පිහිටුවාගෙන රුවන් වැලි සෑය නඟාසිටෙව්වනේ. විදේශිය විශේෂඥයින්ගේ මැදිහත් වීමක් ඒකට තිබුනේ නෑ. ඒ සෑයේ මුළ කොතැනක ඉදල අඩියක් පස්සට අරන් හිස එසෙවුවත් කොත් වහන්සේ පේනවා. ජේතවන ස්තූප සංරක්ෂණය කියන්නේ සංස්කෘතික ත්රිකෝණය පිහිටුවල කළ විශාලම වැඩේ. විදේශීය විශේෂඥයෝ විතරක් නෙවී සල්ලිත් මහ කන්දරාවක් වියදම් වුණා. හැබැයි මේ ස්තූපයේ එක එක පැත්තට පේන්නේ එක එක හැඩ. ලංකාවේ ස්තූපවලට හැඩ තියෙනවානේ බුබ්බුලාකාර, ධාන්යාකාර එහෙම කියල. පුරාවිද්යාව ඉගෙන ගන්න ළමයි විහිළුවට කියනවා ජේතවනේට තියෙන්නේ හිතුවක්කාර හැඩේ කියල. මොකද එක එක පැත්තට එක එක හැඩනේ පේන්නේ. දැන් ඔන්න ආය පිපිරිමක් ගිහිල්ල කියලත් හාහුවත් තියෙනවා. ලංකාවේ අපේ හඳවතේ නගරය අනුරාධපුරේ. ජනමනසට හිතැති හාමුදුරුවරු මුල් වෙලා ගිහියන් හදපු රුවන්වැලියයි ථුපාරාමෙයි වදින්න එන අය තමා ජේතවනෙයි අභයගිරියයි බලන්න යන්නෙත්. අපිට ලැබෙන විදිහට ස්මාරක තිබ්බහම තමා සංචාරකයෝ බලන්න එන්නේ කියන තර්කය පුස්සක් වෙනවා මෙතැනදි.
අපේ පැරණි තැන් අපිට අපේ ජනසමාජයට අවශය විදිහට රැකගෙන ඉදිරියට පවත්වාගත යුතු වගේම ඒ උරුමය ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙලක් අපි හදාගන්න ඕන. ඊට කළින් මේ දේ සඳහා අවශ්ය න්යායාත්මක දැක්මත් අපි විසින්ම හදලවඩල ගන්න ඕන. මේවා වෙන අය හදල දෙන්නේ නැහැ. අපිටමයි හදාගන්න වෙන්නේ. ජාතික දැක්මකින් යුතුව තුන් කලම බලල කරන්න ඕන වැඩක් මේක. එහෙම නොවුනොත් මේ දැලිපිහියෙන් කිරිකනව වගේ වැඩෙක් හින්ද රැකිල තියෙන දේත් විනාශ වෙලා නවතින්න පුළුවන්.
චන්දිම අඹන්වල
2020.05.04 / 01.51 PM

41. මිහින්තලේ, සිංහ පොකුණ

අපේ හැදියාවේ බිහිදොර වූ මිහින්තලේ පැරණි පුදබිමේ තියෙන අවශේෂ නිර්මාණයක් ගැන කියන්නයි මේ හදන්නේ. ඒ එහි ඇති පොකුණක් ගැන. ලංකාවේ පැරණි නටඹුන් ස්ථාන එක්ක පරසිඳු පොකුණු ගණනාවක් තියෙනවා. නම් වශයෙන් එකක් දෙකක් සඳහන් කළොත් අභයගිරියේ කුට්ටම් පොකුණ, ඇත්පොකුණ, ජේතවන විහාරයේ ඇති යතුරු පොකුණු, රිටිගල ගියෙන බන්දා පොකුණ, පොළොන්නරුවේ ඇති කුමාර පොකුණ, නෙළුම් පොකුණ හා ගලබැද්දේ බිසෝ පොකුණ කියන්නේ ඒ අතුරින් කීපයක් විතරයි. ඕන නම් කෙනෙකුට ලංකාවේ පොකුණු ගැන වෙනම හොයාබලන්න තරම් තොරතුරු තියෙනවා. මිහින්තලේ සිංහ පොකුණ කියල කියන්නේ මේ අතර කුඩා පොකුණක් නමුත් ඊටම වෙන්වුණු හැඩ සහිත නිර්මාණයක්.
මිහින්තලේ පංසලේ මැද මළුව කියන තැනට දකුණු දිහාවෙන් ඇති ප්රපාතයේ ආරාමයක් එක්ක යාවන අන්දමින් මේ පොකුණ පිහිටල තියෙන්නේ. මේ පොකුණට ‘සිංහ පොකුණ’ කියල කියන්නේ තරමක් විශාල හිටගත් සිංහ රුවක් මේ පොකුණට සම්බන්ධ නිසයි. මේ සිංහ රුව සහිත පොකුණ නිසා ‘සිංහ පොකුණ පරිශ්රය’ කියල කියනවා. අනුරාධපුරේ අනෙකුත් පුරාණ පුදබිම් වගේම මේ පොකුණත් නටඹුන් වෙලා කැලයෙන් වැහිල තියෙද්දි 1910 දී එවකට පුරාවිද්යා කොමසාරිස් වුණු එච්.සී.පී. බෙල් මැතිතුමා මෙතැන පිරික්සලා මේ නටඹුන් දැන් තියෙන ආකාරෙට පාදලා හදලකරල තියෙනවා.
පිහිටි ගලකට තුන් පැත්තකින් ගල් කුට්ටි සම්බන්ධ කරල හදල තියෙන මේ පොකුණේ ප්රමාණය හරියටම කිවුවොත් දිග මීටර් 2ක් පළල මීටර් 1.9ක් හා ගැඹුර මීටර් 1.4ක් වෙනවා. ගලේ පිහිටි හැඩය උපයෝගි කරගෙනම හදපු අත් ඔසවාගෙන දෙ කකුලින් නැඟිට ඉන්න සිංහ රුව මීටර් 2.3ක් උසයි. සාමාන්ය මිහිහෙකුට මේ සිංහ කටින් එන වතුර පිහිල්ලෙන් අමාරුවක් නැතිව නාන්න වුනත් පුළුවන්. සිංහ රුවට ඉහළින් බොරදම් ඇති වේදිකාවට ඉහළින් වතුර එකතු වෙන පොකුණ හදල තියෙනවා. මේ කතාකරන සිංහ පොකුණට වතුර ගෙනවිත් තියෙන්නේ මේ කන්දේ මැද හරියේ තියෙන නාග පොකුණින්. පොළොවේ වළලපු මැටි නළ ඔස්සෙයි මේ වතුර පාර ගෙනවිල්ලා ඇත්තේ. පොකුණට වතුර වැටෙන්නේ මකර කටක් විදිහට හදපු ගල් පිහිල්ලකිනි. මේ කුටියට එක්වන වතුර බටහිර පැත්තට මුහුණ දාපු සිංහයාගේ කටින් පිටට එනවා.
එදිනෙදා වුවමනාවක් පිරිමහන නිමවුමක් වන මේ සිංහ පොකුණ ගල් කැටයම්වලින් හැඩ කරන්න නිර්මාණකරුවා දරල තියෙන මහන්සිය බොහොම සිත් ගන්නවා සිංහ පොකුණේ උතුරු, නැඟෙනහිර හා බටහිර දිසාවන්හි දැකගන්න පුළුවන් කැටයම් පෙළ වැඩි අවදානයක් දිනාගන්නවා. සෙන්ටිමීටර් 25ක් උස වන පටියක් ආකාරයට නෙලා ඇති මෙහි උතුරු පැත්තට වෙන් වෙන් කැටයම් 10ක් නැඟෙනහිර දෙසින් කැටයම් 8ක් හා බටහිර පැත්තෙ කැටයම් 7ක් දැකගන්න පුළුවන්. තුන් පැත්තෙම කැටයම්, ගලෙහි මතු කළ කුලුණු සටහන් මගින් එකිනෙකින් වෙන් වෙනවා. මේ එකිනෙක පැත්තේ ඇති කාටයම් පහත දැක්වෙන විදිහට විස්තර කරන්න පුළුවන්.
උතුරු පැත්තේ කැටයම් දකුණු කෙළවරේ ඉදල
1 අතක් ඔසවාගත් කේශර සහිත ගජසිංහ රුපය, 2 දකුණු උර මත කඩු මිටක් රැදුණු කෙස් වැටිය විදහා ගත් යුධ භටයා, 3 සිංහයා, 4 නැටුමක යෙදෙන වාමනයා, 5 පිටුපසට හැරුණු සිංහයා, 6 මල්ලව පොරය, 7 නැටුමක යෙදෙන වාමනයා (තරමක් දුරට විනාශ වී ඇත.), 8 සිංහයා (තරමක් දුරට විනාශ වී ඇත.), 9 නැටුමක යෙදෙන වාමනයා (වම් කකුල කැඞී ඇත.) හා 10 කේසර රහිත ගජසිංහ රුව
නැඟෙනහිර පැත්තේ කැටයම් දකුණු කෙළවරේ ඉදල
1 වාඩි වූන සිංහයා, 2 දකුණතින් චාමරයක් ගත් වාමනයා, 3 වාඩි වූ සිංහයා (මෙම සිංහ රුව අනෙකුත් සිංහ රූපවලට වඩා සියුම් හා විචිතර අයුරින් කැටයම් කර ඇත.), 4 ඍෂිවරයා හා ඇත් රුව : සිංහ පොකුණෙහි කැටයම් අතර විශේෂම කැටයමයි. මෙහි ඇති සැරසූ ඇත් රුවෙහි දකුණු අත හා වම් පාදය නමා හොඬයෙන් පොළොව ස්පර්ශ කරයි. හොඬයෙන් යමක් දරා සිටින ඇත් රජු දමනය වී ඇති අයුරකින් නිරූපණය වේ. ඇතු ඉදිරියේ හිටගෙන ඉන්න ධෝතියක් ඇදගත් ඍෂිවරයා වම් අතින් හක් ගෙඩියක් දරා සිටින අතර දකුණු අතින් ඇතුගේ කුම්බස්තලය පිරිමදියි. මුහුණ පුරා රැුවුල වවා ඇති ඍෂිවරයාගේ උඩු රැවුල ද හොඳින් දක්වා ඇත. මෙය පොළොන්නරුව පොත්ගුල් විහාරයේ තියෙන සෘෂි රූපය සිහිපත් කරයි. 5 වාඩි වූ සිංහයා (ඉහත 3 රූපයට සමානය), 6 කකුල් පටලවාගත් මල්ලවකරුවන්ගේ පොරය, 7 වාඩි වූ සිංහයා (3 හා 5 කැටයම්වල ඇති සිංහ රුවට සමාන ය) හා 8 වාමන රුවක් බව අනුමාන කළ හැකි වේ. පස්වලින් ආවරණය වී ඇත.
බටහිර පැත්තේ කැටයම් දකුණු කෙළවරේ ඉදල
1 වාඩි වූ සිංහයා, 2 තරිභංග කාන්තාව, 3 පැත්තකට හැරි ඉදිරිය බලා සිටින සිංහයා, 4 යුගල නර්තන රුව හා බටනලා වාදකයා, 5 පැත්තකට හැරී ඉදිරිය බලා සිටින සිංහයා, 6 වීණා වාදකයා හා 7 වාඩි වූ සිංහයා
ඉහත විස්තර කළ කැටයම් තීරුවලට ඉහළින් එක් පැත්තකට 2 බැගින් වූ වාමන රූප 6ක් අල්ප උන්නතව දක්වලා තියෙනවා. මේ කැටයම් අතුරින් කලාත්මක බවින් වැඩිම ඒවා ඇත්තේ නැඟෙනහිර දෙසයි. පොකුණෙහි ප්රධාන පැත්ත සිංහ රුපය ඇති පැත්ත වුවත් ඊට ප්රතිවිරුද්ධ පැත්තේ කැටයම් අනෙක්වාට වඩා වැඩි කලාත්මක බවකින් දක්වා ඇත්තේ ඇයි යන්න විමසිය යුතත්තකි.
සිංහ පොකුණට පිවිසෙන තැන හුනුගලකින් හදපු කැටයම් නැති සඳකඩපහණක් දැකගන්න පුළුවන්. එ වගේම පොකුණ ඉදිරියේ විෂ්කම්භය අඩියක් පමණ වන ඇඹරුම් ගලක් ද දැකගන්න පුලුවන්. මෙතැන නාන අයට අවශ්ය ආලේපන ඇඹරීම සඳහා මෙය යොදාගන්න ඇති.
මිහින්තලේ වැනි විශාල නිර්මාණ ප්රමාණයක් ඇති තැන්වල ඇවිදිද්දි අමතක නොකර මේ වගේ කුඩා නිර්මාණත් දැකබලා ගන්න එක වටිනවා. ඒ නිර්මාණ වැඩි අවධානයකින් නැරඹුවොත් සාමාන්යයෙන් දකින දේට වඩා වැඩි යමක් දැකගන්නත් පුළුවන් වේවි. මේ මිහින්තලේ කණ්ඨක චේතියට පස්සේ කැටයම් වැඩිම ප්රමාණයක් ඇති තැන.
මේ සමඟ අමුණලා තියෙන රූපෙන් පේන්නේ මේ පොකුණ තහවුරු කරන්න කලින් කැලය කපල මතුකරගත්ත අවස්ථාවේ තිබුණු විදිහ. මේ ස්ථානය පාදල මතුකරල තියෙන ආකාරය දැන් මෙතනට යන කෙනෙකුට දැකබලාගන්න පුළුවන්. මේ රූපෙයි දැන් සිංහයාගේ මුණයි හොඳින් බලන්න. පර සුද්දො කියන එච්.සී.පී. බෙල් මැතිතුමාලා මතුකරල දුන්නු දේට අපේ අයියලා කරල තියෙන දේ දැකගන්න පුළුවන් වෙයි. ෆැන්ටසිය නැත්තං සිහින ලෝකවලට වඩා ඇත්ත ගොඩක් වෙනස් කියන දේ එතකොට පැහැදිලි වෙයි.
චන්දිම අඹන්වල
2020.05.01 / 09.09 PM

40. අනුරාධපුර යුගයේ විහාර සම්ප්‍රදා

ලංකාවේ ඉතිහාසයට අතීතයට ආදරය කරන බොහෝ දෙනාගේ මනබඳින තැනක් අනුරාධපුරය කියන්නේ. අපේ ඉතිහාසයේ රන් යුගයත් අනුරාධපුර යුගයමයි. බුදුදහම මත පදනම් වූ වාරි-කෘෂි ශිෂ්ටාචාරය ක්රමවත් විදිහට පැළවෙන්නේ මේ සමයේ. කලාව, දර්ශනය, වාස්තු, ජනජීවිතය, ආර්ථිකය විතරක් නෙවේ රාජ්ය පාලනය ඇතුළු සමස්ථ හැදියාවම බුදුදහම අනුව හැඩගැහුණු සරළ චාම් හා අභිමානවත් කාලයක් ඒක.
මේ සටහන් කියවන ඔබත් හැකි වෙලාවට තනිවම හෝ පිරිසත් එක්ක අනුරාධපුරේ ඇවිදින්න යනවා ඇති නේද?. පොඩි කාලේ ගිය අද්දැකීමුත් හිතේ තැම්පත් වෙලා ඇති. එහෙම ගියපු අවස්ථාවල ඔබ රුවන්වැලි සෑය, ථූපාරාමය, ශ්රී මහා බෝධිය, බටහිර ආරාමය, වෙස්සගිරිය හා මිහින්තලේ වගේ තැන්වල ඇවිදින්න ගිහිල්ලත් ඇති. ගල්බැමි බලමින් ඇවිදින අතර හිතන්න ඇති මේ මොනවද කියල. මේවා ගැන වැඩිහිටියන්ගෙන් ඇහුවත් එයාලත් ගොඩාක් විට ඒ ගැන දන්නේ නැහැ. ගොඩාක් වෙලාවට නඬේ ගුරාලත් දන්නේ මේව විහාර කියන්න විතරයි. ඒ නිසා මේ සටහනින් මම උත්සාහ කරන්නේ් අනුරාධපුර කාලෙට අයිති විහාර ගැන සුළුවෙන් යමක් පැහැදිලි කරන්නයි. හැබැයි මේ සටහනින් පුළුල් පරාසයක් කියැවෙනවා.
අනුරාධපුරේ නගර සැලැස්මේ විහාර වර්ග කීපයක්ම තියෙනවා. ප්රධාන සම්ප්රදා වර්ග 4ක් හඳුනගන්න පුළුවන් පහළ තියෙන විදිහට.
1. මහා විහාර
2. පබ්බත විහාර
3. පධානඝර විහාර
4. ආරණ්ය හෙවත් ඓන්ද්රීය විහාර
අපි දැන් මේ එක එක විහාර සම්ප්රදායන් හා ඒවගේ ලක්ෂණ මොනවද කියල බලමු.
1. මහා විහාර : වචනයෙන් කියැවෙන ආකාරයටම මේ ගොඩාක් විට විශාල පරිමාණයේ විහාර. පැරණිම කාලේ ජනප්රිය වුණු විහාර සම්ප්රදායක් මේක. මේ විහාර සම්ප්රදායේ මූලිකත්වය ලැබෙන්නේ ස්තූපයට. ස්තූපය මැදි කරගෙන තමයි අනෙකුත් නිර්මාණ තියෙන්නේ. විහාරයක් ගත්තහම පූජනිය ගොඩනැඟිලි, පොදු ගොඩනැඟිලි, භික්ෂූ නේවාසිකාගාර, ගබඩා සේවකකාරකාදින්ගේ කාමර, වැසිකිලිකැසිකිලි, පොකුණු හා තවත් පරිවාර ගොඩනැඟිලි දැකගන්න පුළුවන්. ස්තූපය, බෝධින් වහන්සේ, පිළිම ගෙය හා පෝය ගෙය කියන්නේ ප්රධාන පූජනිය ගොඩනැඟිලි හතර. මේ විහාරවල තියෙන ස්තූපය ගොඩාක් විට මහ විශාලයි. රුවන්වැලි සෑය මැදි වුණු මහාවිහාරය, අභයගිරි ස්තූපය මැදි වූ අභයගිරිය, ජේතවන ස්තූපය මැදිවුණු ජේතවනය හා දක්ඛිණ තූපය සහිත දක්ඛිණ විහාරය කියන්නේ අනුරාධපුරේ පැරණි නගරයේ ඇති ප්රධාන මහා විහාර.
අනුරාධපුරේ විශාලම ස්තූප තියෙන්නේ මහාවිහාරවල. ස්තූපයේ ඉදල ප්රධාන දිසා හතරට විහිදෙන විදිහටයි අනෙක් ගොඩනැඟිලි තියෙන්නේ. ගොඩනැඟිලි කියන්නේ පිළිම ගෙවල්, උපෝසථඝර, ධාතු මන්දිර, දානශාලාව, සන්නිපාත ශාලා, ජන්තාඝරය, නේවාසික ගෘහ, ගබඩා, පොකුණු ආදි සියල්ලයි. මේ ඔක්කොම වටකරල සීමා ප්රාකාරයක් තියෙනවා. අනුරාධපුරේ මහාවිහාරය කියන මහාවිහාර සම්ප්රදායේ විහාරයේ ස්තූපය තමා රුවන්වැලි සෑය. බෝධින් වහන්සේ ශ්රී මහා බෝධින් වහන්සේ. උපෝසථඝරය තමා ලොවාමහාපාය. අභයගිරි විහාරය ගත්තොත් අභයගිරි ස්තූපය, රත්න ප්රාසාධය උපෝසථඝරය. ජේතවන ස්තූපය තමා ජේතවන විහාරයේ කේන්ද්රය වූ ස්තූපය. දියසෙන් මහ පොයගේ පෝය ගෙය. බෝධිඝරය තමා බෞද්ධ ගරාදි වැට කියල දැන් කෞතුකාගාරය පිටුපස තියෙන ඉදිකිරීම. පිළිම ගේ තමා ස්තූපයට බටහිර පැත්තේ උසම උස උළුවස්සක් තියෙන ගොඩනැඟිල්ල.
ෆා-හියං භික්ෂූන් වහන්සේගේ වාර්තාවේ තියෙන විදිහට මහාවිහාරවල භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩවාසය කරල තියෙනවා. අභයගිරියේ 5,000ක් මහාවිහාරයේ 3,000ක් හා ජේතවන විහාරයේ 2,000ක පමණ භික්ෂූන් වහන්සේලා වැඩසිටි බවයි කියැවෙන්නේ. මේ විහාරවල තියෙන බත් ඔරු පරික්ෂා කළ පුරාවිද්යාඥයින්ට මේ වාර්තාවේ ඇති තොරතුරු නිවැරදි බව පෙනී ගියා.
ශිල්ප ග්රන්ථවල තියෙන උපදෙස් අනුවයි මේ විහාරවල වාස්තු නිර්මාණ තියෙන්නේ. සම්මාණිත මහාචාර්ය 
Kulatunga TG මැතිතුමා ලිපියකින් පැහැදිලි කරල තිබුණ මහා විහාරයේ ප්රධාන ගොඩනැඟිලි පිහිටල තියෙන්නේ සිංහ වික්රාන්තිය නැතිනම් වැතිරි ඉන්න සිංහයෙකුගේ ශරීරයේ ප්රධාන අංග යොමු වූ තැන්වල පිහිටන ක්රමයට කියල.
2. පබ්බත විහාර : ගල් පර්වතයක් ඇසුරු කරමින් කළ විහාර පබ්බත විහාර බවයි බොහෝ පුරාවිද්යාඥයින්ගේ පිළිගැනීම. ජලයෙන් වටවුණු ආයත චතුරසාකාර එකිනෙකින් උස්වන මළු කීපයක් විදිහටයි පබ්බත විහාර සකසලා තියෙන්නේ. ඉහළම මළුවේ තමා පූජණීය ගොඩනැඟිලි හතර තියෙන්නේ. උසින්ම තියෙන මැද මළුවේ පූජනීය ගොඩනැඟිලි තියෙන්නේ සම්මතයකට අනුව. ලංකාවෙන් හමුවුණු ‘මඤ්ජුශ්රී භාෂිත වාස්තුවිද්යාව’ පොතේ මේ ගොඩනැඟිලි ගැනයි සම්මතයන් ගැනයි හොඳින්ම පැහැදිලි කරල තියෙනවා. අනුරාධපුරේ විජයාරාමය, අසෝකාරාමය, පාචීනතිස්ස පබ්බත විහාරය, පුලියන්කුලම, තොළුවිල හා වෙස්සගිරියේ ඇත්තේ මේ සම්ප්රදායේ විහාර. භික්ෂූන් වහන්සේලා දෙතුන් සියයක් වැඩඉන්න ඇති මේ විහාරවල. දෙමටමල් විහාරය වගේම නිතර කතාවෙන ලාහුගල, මඟුල් මහා විහාරයත් මේ වර්ගයේ විහාර. පිදුරංගල පර්වතය පාමුළ තියෙන්නෙත් මේවගෙන්ම එකක්. අනුරාධපුර යුගයේ මැද හරිය වෙද්දි මේ විහාර වර්ගය වැඩියෙන් ජනප්රිය වෙලා තියෙන බවයි පේන්නේ.
ලංකාවේ හමු වූ බෙහෙවින් මනස්කාන්ත සමාධි පිළිම ලැබිල තියෙන්නේ මේ වර්ගයේ විහාරවලින්. තොළුවිල ප්රතිමාව හිතන්නකෝ. අසොකාරාමය පිළිමයත් එහෙමයි. අභයගිරියේ තියෙන සමාධි ප්රතිමාවත්, විජයාරාමයේ ප්රතිමාව කියලයි හිතන්නේ. අනුරාධපුරයෙන් ටිකක නැඟෙනහිර පැත්තට වෙන්න දිවුල්වැව තියල පරණ පංසලක් තියෙනවා මේ වර්ගයේ. ඒ පංසලෙත් ලස්සන පිළිමයක් තියෙනවා. පුළුවන් වුනොත් ගිහිං බලන්න.
3. පධානඝර විහාර : එච්.සී.පී. බෙල් මැතිතුමා වේදිකා දෙකේ ගොඩනැඟිලි කියල හැදින්නුවේ මේ විහාර. සෙල්ලිපිවල තියෙන තොරතුරුත් එක්ක ‘පියන්ගල්’ කියන්නේ මේ විහාර කියල මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා පහදල දුන්නා.තරමක් ආයත චතුරස්රාකාර වේදිකා දෙකක් විදිහටයි මේ විහාර තියෙන්නේ. ඒ දෙක යා කරල බොහෝ විට මහවිසාල තනිගල් පාලමක් දාල, බුදුදහමේ කියැවෙන ඒකායන මාර්ගය පැහැදිලි කරන්න වගේ. මේ දෙකින් ඉදිරිපස කුටිය එළිමහන් විදිහටත් දෙවැනි කුටිය ආවරණය වුණු එකක් විදිහටත් තියෙන්න ඇති. මේ විහාරවල ඉදල තියෙන්නේ බණභාවනා කළ බුද්ධ පුත්රයින් වහන්සේලා. එළිමහන් කුටිය සාමාන්ය බණභාවනා කටයුතු සඳහාත් ඇතුළු කුටිය බුදුදහමේ දැක්වෙන වෙනත් අයෙකුට නොපෙනෙන සේ කළයුතු බවුන් වැඞීම සඳහාත් යොදාගන්න ඇති. මේ විහාරයක හාමාදුරුවරු 5-6 නමක් වැඩහිටින්න ඇති.
මේ ගොඩනැඟිල්ල වතුරෙන් වටවෙලා තියෙන්නේ. මේ විහාර ඒකකයක සක්මන් මළු, වැසිකිලිකැසිකිලි ආදියත් තියෙනවා. මේ ගොඩනැඟිලිවල කැටයම්ලියකම් නෑ. හැබැයි වැසිකිලිකැසිකිලි ගල් නම් බොහෝම උජාරුවට කැටයමින් හැඩකරල. හැමදේම ඇති නොතිර දුක දැකල සියල්ල අතහැරලා බණබාවනා කරන බුද්ධ පුත්රයින් වහන්සේලා සැපයැයි සිතා ලෞකික සැප පස්සේ යන ගිහි අපිට දුන්නු අතුල් පහරක් එක. දැන් දැන් මේ දේ අවබෝධ කරගන්න බැරි සමහරු සිරිපතුල් ගලුයි වැසිකිලියි පටලවගෙන විකාර නටන්න අරගෙන.
බටහිර ආරාමය, රිටිගල, මානෑකන්ද, කිරලාගල, අරන්කැලේ ආදි බොහෝ විට අනුරපුරයෙන් පිටත කලාපයේ මේ වර්ගයේ විහාර දැකගන්න පුළුවන්. මේ ලේඛකයාට දැනෙන විදිහට මේ විහාර බෙහෙවින් ජනප්රි වෙලා තියෙන්නේ ක්රිස්තු වර්ෂයෙන් 7-9 වගේ සියවස්වල. මේ ලේඛකයා මේ ගොඩනැඟිලි ගැන පෞද්ගලිකව හිතන දෙයත් සටහන් කළොත් හොඳයි කියල හිතනවා. ඒ තමා ලෝකයේ යම් තැනක ආගමික දර්ශනයක් වාස්තුවිද්යාවෙන් නිරූපණය කරල තියෙනවද ඊට හොඳම උදාහරණය තමා මේ පියන්ගල්. මේ ලේඛකයාගේ දැනුවත් බව අනුව මේ වර්ගයේ ගොඩනැඟිලි ලෝකයේ වෙන කොහෙවත් නැහැ. අපිට අනන්ය වෙච්ච එකක්. අපේ සළකුණක්. අපිට ආඩම්බර වෙන්න හොඳටම ඇති මේ නිර්මාණ.
4. ආරණ්ය හෙවත් ඓන්ද්රීය විහාර : පූර්ව සැලසුමක් නැතිව බිම තියෙන අයුරින්ම වනාන්තරයට අවම මැදිහත්වීමක් කරල හදන විහාර මේ නමින් හැඳින්වෙනවා. මිහින්තලේ කියන්නේ ඒ වගේ තැනක්. ගල්ලෙන්වල දිරන ඉළුක්, මානා හා පොල්අතු වගේ දේවල් භාවිතයෙන් හෙවිල්ලපු ඉදිකිරීම් තියෙන්න ඇති. කලින් කිවුව ශිල්ප ග්රන්ථවල තියෙන න්යායන් මුල්කර ගන් නැතිව බිමේ හැඩය අනුව, තැනට ගැලපෙන විදිහට ඉදිකිරිම් කරල. මනරම් පරිසරයටම අනුගතයි.
රට පුරාම පාහේ මේ විහාර තියෙනවා. පහුපහු වෙද්දි මේ විහාරවල තැනිබිම්වල ස්තූප වගේම වෙනත් ගොඩනැඟිලිත් හදල. අනුරපුරේ වෙස්සගිරිය ඒ වගේ තැනක්. මුළින් ඓන්ද්රීය විහාරයක් කිතුවසින් පස්වැනි සියවසේ පමණ පබ්බත විහාරය ඊට එක් වෙලා.
බොහෝ දෙනෙක් මේ විස්තර හරියට නොදන්න නිසා පරණ ගොඩනැඟිල්ලක් දැක්කහම රැටටෙනවා. අරයගේ මෙයාගේ මාළිඟා කියල කියන කතා අදහන්න පෙළඹෙනවා. මේ උදාර උරුමයේ අයිතිකාරයෝ විදිහට මේවා ගැන යමක්කමක් දැනගත්තොත් අපිට ඒවා නියම අරුත දනවන විදිහට රැකගන්න පුළුවන්. මම හිතන්නේ අනුරාධපුර කාලෙට අයිති පැරණි පුදබිමකට ගියහම දැන් ඔබට පුළුවන් වෙයි මේ කුමන වර්ගයේ විහාරයක් ද කියල අනුමාණෙට හරි දැනගන්න. එහෙම පුළුවන් වුනොත් මේ සටහනට ගතකරපු කාලේ අපතේ ගියේ නෑ කියල මට සතුටු වෙන්න පුළුවන්.
මේ සමඟ ඇති පින්තූරයේ තියෙන්නේ කහටගස්දිගිලිය ආසන්නයේ දිවුල්වැව පැරණි පංසලේ වැඩ ඉන්න බුදු පිළිමය.
චන්දිම අඹන්වල
2020.04.31 / 04.55 PM

39. අම්පාර, රජගල සෙල්ලිපියක්

පැරණිම කාලයට අයත් සෙල්ලිපි 2,000කට වඩා අපේ රටේ ඇති. පරණම කාලේ කියන්නේ ක්රිස්තු පූර්ව තුන්වැනි සියවසේ ඉදල ක්රිස්තු වර්ෂ පළමු වැනි සියවස දක්වා කාලේ. බුදුදහම කෙරෙහි පැහැදුණු දායක කාරකාදින් හතර දිසාවෙන් ආවා වුත් අනාගතයේ එන්නා වූත් භික්ෂූන් වහන්සේලා උදෙසා කරල ලද ලෙන් පූජා ගැනයි මේ පැරණිම සෙල්ලිපි බොහෝමයක තියෙන්නේ. මේ අතර සමහර සෙල්ලිපි තියෙනවා ඊට වඩා වෙනස් අදහස් තියෙන.
ලංකාවේ සෙල්ලිපි ගැන එදාමෙදා කාලය තුළ පහළ වූ විශිෂ්ඨ විද්වතා වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා සම්පාදනය කළ Inscriptions of Ceylon නම් මහානර්ඝ කෘතියේ 468 අංකය යටතේ පළකරල තියෙන්නේ මේ ලිපිය. මේ පොතේ රජගල තියෙන පැරණිම ලිපි 48 පිළිබඳ විස්තර තියෙනවා. 2010න් විතර පස්සේ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පුරාවිද්යා කණ්ඩායම මේ පැරණි පුදබිම ගැන හොයාබලන්නයි කැනීම් කරල පැරණි වාස්තු තහවුරු කිරීමේ වැඩයි නිල වශයෙන් භාරගත්තා. ඒ ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයේ අරමුදල් අනුග්රහයෙන්. මේ ව්යාපෘතියේ දී ඒ විශ්වවිද්යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම මේ සෙල්ලිපි ගැන නැවත හොයාබලන එක අරඹලා තියෙනවා. එහිදිත් මේ ස්ථානයේ ඇතිි මෙතෙක් හමු නොවූ සෙල්ලිපි හොයාගෙන තියෙනවා කියන ආරංචිය තියෙනවා.
මේ ස්ථානයට ‘රජගල’ වගේම ‘රජගල තැන්න’ කියලත් කියනවා. පුරාවිද්යා වාර්තාවල ‘රාස්සහෙළ’ කියල තියෙන්නෙත් මේ ස්ථානයමයි. මේ ස්ථානයේ ඇති සෙල්ලිපි අනුව මෙම විහාරයට පරණම කාලේ ‘ධනතිස පවත විහාරය’ ලෙසත් ‘අරිය අරක ගිරිකුබිලපි තිස පවත මහ විහාර’ යනුවෙනුත් භාවිත කරල තියෙනවා. ඒ වගේම පරණ සෙල්ලිපි අනුව මේ ස්ථානයට ‘ගිරිකුම්භිල විහාරය’ කියලත් අමතල තියෙනවා. පරණ විදිහට බැලුවොත් මේ ස්ථානය අයිති වෙන්නේ මඩකලපුව දිස්ත්රික්කයේ වැව්ගම්පත්තුවට. දැන් පළාත් බෙදීම අනුව නැඟෙනහිර පළාතේ උහන ප්රදේශීය ලේකම් කොට්ඨාසයේ රජගලතැන්න කියන ගමේ තමා මේ වටිනා පුදබිම පිහිටලා තියෙන්නේ. විශාල භූමි ප්රමාණයක පැතිරිලා තියෙන මේ පුදබිම පැරණිම ගල්ලෙන්, ගොඩනැඟිලි, ස්තූප වගේ පැරණි නිර්මාණ මහගොඩක් දැකබලාගන්න පුළුවන් තැනක්. සුන්දර භූමි භාගයක්. සතාසිවුපාවාගෙනුත් අඩුවක් නැහැ. රටතොටේ ඇවිදින්න කැමති, පැරණි පුදබිම් දැකගන්න කැමති අය රජගල දැකබලාගන්න එක අමතක නොවන අද්දැකීමක් වේවි. බාගෙට හදපු විශාල බුදුපිළිමේ, ගල් පාත්තර සදාතනිකව සිහියේ රැදෙන බවට සැකයක් නැහැ. මෙතැනට යන අය දවසක්වත් මෙතැන රැදෙන්න බලාගෙන යන එක වටිනවා. ඒ තරම් බලන්න දේවල්. හැබැයි හවස් වෙන්න කලියෙන් පිටවෙන එක නුවනට හුරුයි. මොකද වල් අලියත් ගැවසෙනවා.
මෙතැන තියෙන සෙල්ලිපි සිය ගණනක් අතුරින් අපි කතාකරන්න යන්නේ එක ලිපියක් ගැන විතරයි. ඒ ලිපිය අපේ ඉතිහාසය හදාරද්දි හරිම විශේෂයි. ඉන්දියාවේ හිටිය මෞර්ය වංශයේ බලවත්ම පාලකයා වුණු දෙවානම් ප්රියදර්ශි අසෝක අධිරාජයයා තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසුව, ගිහි කල තමන්ගේ පුතණුවන් වූ මහා මහින්ද තරුන් වහන්සේ හා ඉත්තියඋත්තියසම්බලබද්ධසාල හා බණ්ඩුක උපාසක නම් පිරිස අපේ දිවයිනට එවනවා දහම් පනිවිඩය අරන්. මේ බව මහාවංසයේ එහෙම පැහැදිලිිව ලියල තියෙනවා. ඒ ආගමනය සඳහා මුල් වුණු ධර්ම දූතයින් වහන්සේලා දෙදෙනෙක් සැබෑ ඓතිහාසික චරිත කියන කාරණය ඔප්පු කරන මූලාශ්රයක් විදිහට මේ ලිපිය සලකන්න පුළුවන්. පරණවිතාන මැතිතුමා දක්වන ආකාරයට ලංකාවේ ආගමික ඉතිහාසය හදාරණ අයට පුදුමාකාර වටිනාකමක් ඇති මූලාශ්රයයක් මේ ලිපිය.
ඉත්තිය’ හා ‘මිහිඳු’ තෙරුන් වහන්සේලා ගැන මේ ලිපියේ දැක්වෙනවා. මේ සමඟ තියෙන රූපේ ඉහළ ඇත්තේ ඒ ලිපිය. පේළි දෙකක් විදිහට රූපේ තිබුණට ගලේ තියෙන්නේ එක පේළියක් විදිහට. පොතේ දිග අතට පළකරන එක අපහසු නිසයි පේළි දෙකක් විදිහට දක්වලා තියෙන්නේ. මේ ලිපිය සටහන් කරල තියෙන්නේ පිහිටි ගල් තලාවේ තරමක් විශාල අකුරින්. මේ ලිපියේ තියෙන්නේ පැරණිම කාලයට අයිති පූර්ව බ්රාහ්මි අකුරු. භාෂාව ගත්තහම සිංහල ප්රාකෘත. ලිපිය අද්දරම පැරණි විදිහට කැටගල් යොදාගෙන හදපු කුඩා පරිමාණයේ ස්තූපයකුත් තියෙනවා. ලිපියේ පෙළ පහත පරිදියි මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා දක්වලා තියෙන්නේ.
පෙළ : යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික [තෙර ම]හිද තෙරහ තුබෙ
අදහස : මෙම දිවයිනේ උත්කෘෂ්ඨ වාසනාව නිසා පැමිණි ඉත්තිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ස්තූපයයි
ලිපියේ ඇති ‘ඉදිය’ කියන වචනෙට ‘ඍදියෙන්’ කියන අදහස දෙන්නත් පුළුවන්. එහෙම වුනොත් මෙයින් කියවෙන්නේ ‘මේ දිවයිනට පළමුවෙන් ඍදියෙන් පැමිණි’ කියන අදහසයි. මේ අදහස ගත්තොත් මහාවංසයේ මහින්දාගමනය පිළිබඳ ඇති අදහස එක්ක සපුරාම ගැලපෙනවා. නමුත් පරණවිතාන මැතිතුමා ලබා දී ඇති අදහසත් ඒ එක්ක ගැටීමක් නැහැ.
මේ ලිපියේ ඇති රහතන් වහන්සේලා දෙනමගේ ශාරිරික ධාතුන් වහන්සේලා තැම්පත් කරල හදපු ස්තූපය මේ අසළම ඇති ස්තූපය වෙන්න විශාලම ඉඩක් තියෙනවා. ඒ ස්තූපයේ නිර්මාණ ලක්ෂණත් ඒ තරම්ම පරණයි. මේ ලිපියේ මිහිඳු හිමියන්ගේ නම පළමුවෙන් නොයෙදෙන්නේ ඇයි කියන පැනය කෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. මේ සදහා හේතු කාරණා කීපයක්ම මූලාශ්රය අනුව දක්වන්න පුළුවන් වුනත් මහාචාර්ය පරණවිතාන මැතිතුමාගේ අදහස දක්වන එක වඩාත් සුදුසුයි. මෞර්ය දර්මදූත කණ්ඩායම මෙරටට ආගමනය වීමෙන් අනතුරුව මිහිඳු හිමිපාණන් වහන්සේ අගනුවරම රැදෙද්දි ධර්ම ප්රචාර කටයුතු සඳහා රජගල තදාසන්න කලාපයට ඉත්තිය රහතන් වහන්සේ වැඩමවන්න ඇති. ඒ නිසා ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැදගත් වූ පමණින්ම නැඟෙනහිර කලාපයේ ජනතාවට ඉත්තිය මහරහතන් වහන්සේ වැදගත් වෙන්න ඇති.
මෙරට හෘද සාක්ෂිය වු මහාවංසයේ 20 වැනි පරිච්ඡේදයේ මිහිඳු හිමිපාණන් වහන්සේ පිරිනිවනින් පසු සත් දවසක් තිස්සේ පුදසත්කාර කිරීමෙන් අනතරුව අදාහණය කර ඒ ශාරිරික ධාතුන් වහන්සේලා නිධාන කර ලංකාව පුරා ස්තූප කළ බව දැක්වෙනවා. ඉතිං අභිනවයෙන් පැමිණි බුදුදහමේ විශාල දීප්තියක් පෙන්නු රජගල විහාරයටත් ඒ ධාතූන් වහන්සේලා නොලැබෙන්න හේතුවක් නැහැ. ඒ ධාතුන් වහන්සේලාත් ඉත්තිය රහතන් වහන්සේගේත් ධාතූන් වහන්සේලාත් නිධන් කළ ස්තූපයක් හදල වන්දනාමාන කරන එක බෞද්ධයින්ගේ හැටියක්.
මේ ලිපිය නිසා වංසකතාවත්, මහින්දාගමනය නම් ඓතිහාසික සංසිද්ධියත් සනාථ වෙනවා. අනික් අතට වංසකතාව නිසා මේ ලිපිය අර්ථයක් ඇති කරනවා.
රජගල විතරක් නෙවෙයි ලංකාවේ දැන් නැඟෙනහිර කලාපය කියන්නේ අගනා ඉතිහාසයක් හඟවාගත් පැත්තක්. මේ ඉතිහාසය ගැන තාම අපි දන්නේ අඩමානෙට. සී.ඩබ්ලියු. නිකලස්මහාචාර්ය සෙනරත් පරණවිතානඒ.ටී. ගුණසිංහ හා එල්ලාවල මෙධානන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු විද්වතුන් පෙන්නලා දීල තියෙන විදිහටත් මේ ලේඛකයාත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජේ්යෂ්ඨ කථිකාචාර්ය 
Sumedha Weerawardhana මැතිතුමාත් කරන සොයාබැලීම් අනුවත් මාගම රාජධානිය පිහිටල තියෙන්නේ ලාහුගල පැත්තේ. විහාරමහා දේවිය හිටි කැලණිය පිහිටලා ඇත්තෙත් ඒ කිට්ටුව කුමන වනෝද්යානය ඇතුළේ වෙන්න ඕන. ඉහළ මට්ටමේ බෞද්ධ පුනර්ජීවනයක් පෙන්නපු පැත්තක්. ඉදිරියේ දී මේ කරුණු ටිකෙන්ටික එළිවේවි. නමුත් ඒ සඳහා විධිමත් ගවේෂණ මාලාවක් අවශයයි. සෙල්ලිපි කියවන්නත් වෙනවා. මේ ගැන ඉඩ ලැබෙන විදිහට ඉදිරියේ දී ලියන්නම්කෝ.
මේ සමඟ තියෙන සෙල්ලිපියේ පිටපත ගත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාගේ පොතෙන්. ස්තූපයේ පින්තූරය ගත්තේ https://si.wikipedia.org වෙබ් අඩවියෙන්.
චන්දිම අඹන්වල
2020.04.28 / 11.47 PM