Home Blog Page 27

යාපනයේ ඩෙල්ෆ් දූපතෙන් සෙල්ලිපි තුනක් හමු වේ

සටහන හා ඡායාරූප : මහින්ද කරුණාරත්න

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල කොටුව, ගාල්ල.

ගාල්ලේ ස්ථාපිත කොට ඇති මධ්‍යයම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥයින් විසින් 2013 අගෝස්තු මාසයේ දී උතුරුදිග ලංකාවේ ඩෙල්ෆ් දූපතේ සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල දී මෙතෙක් අනාවරණය නොවී පැවති සෙල්ලිපි තුනක් පළමු වරට අනාවරණය කරගැනිමට සමත් වී ඇත.

Delft-Brahami-Inscription-Chandima Ambanwala
බ්‍රාහ්මී සෙල්ලිපිය
Delft-Tamil-Inscription 01-Chandima Ambanwala
දෙමළ ලිපි අංක 1
Delft-Tamil-Inscription 02-Chandima Ambanwala
දෙමළ ලිපි අංක 2

ඉතා පැරණි කාලයට අයත් බෞද්ධ විහාරයන් ගේ සාධක රැසක් දැකගත හැකි ඩෙල්ෆ් දූපත පුරා විවිධ පුරාකෘති විසිරී ඇති බව නිරීක්ෂණය කළ හැකි වේ. මේවා අතර එකිනෙකට වෙනස් ප්‍රමාණයන් ගේ පැරණි ස්තූප තුනක් පිළිබඳ සාධක දැකගත හැක. මෙම ස්තූප අතුරින් විශ්කම්භය මීටර 13.54 ක්, පරිදිය මීටර 31.93 ක් හා උස සෙන්ටිමීටර 58ක් වන විශාලම ස්තූපයට අයත් සළපතර මළුවේ අතුරා ඇති ගල් මත මෙම අභිනවයෙන් අනාවරණය කරගන්නා ලද කෙටි සෙල්ලිපි තුන සටහන් කර ඇත.

Meritime Archaeology Unit-Delft-Jaffna-Sri Lanka-Buddhist Temple-Mahinda Karunarathne-Archaeology (4)
දූපතේ පිහිටි කුඩාම ස්තුපය
Meritime Archaeology Unit-Delft-Jaffna-Sri Lanka-Buddhist Temple-Mahinda Karunarathne-Archaeology (3)
දූපකත් පිහිටි විශාලම ස්තූපය

මෙම ලිපි තුනෙක් දෙකක් දෙමළ අක්ෂර භාවිතයෙන් සටහන් කර ඇති අතර අනෙක් ලිපිය බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කර ඇත. මෙම දෙමළ ලිපි දෙක එහි පවතින අක්ෂර විද්‍යාත්මක සාධක අනුව ක්‍රිස්තු වර්ෂ 14-15 සියවස්වලින් පසු යුගයට අයත් වේ. මෙහි ඇති බ්‍රාහ්මී ලිපිය ක්‍රිස්තුවර්ෂ 1- 2 වැනි සියවස් අතර කාලයට අයත් විය හැකි බව අභිලේඛනඥයින් ගේ අදහසයි. එ මෙන් ම එම ලිපියේ කියවාගත හැකි කොටස අනුව මෙම පැරණි බ්‍රාහ්මී ලිපිය සිංහල ප්‍රාකෘත බසින් ලියන ලද ලිපියක් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ අභිලේඛන විද්‍යාව හා පුර අක්ෂර විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා පෙන්වා දේ.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්ඩායම
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්ඩායම

මෑත කාලයේ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිදුකළ අනාවරණය කිරීම් අතර මෙම සොයාගැනීම වැදගත් සොයාගැනීමක් වන අතරම වැඩිදුර අධ්‍යයන කටයුතු මේ වන විට සිදුකරමින් පවති.

මහින්ද කරුණාරත්න හා චන්දිම අඹන්වල archaeology.lk කණ්ඩායමේ සමප්‍රාරම්භකයින් වේ.

Chandima Ambanwala-Archaeology.lk-Sri Lanka-Prehistory-Epigraphy-Palaeography (1)
චන්දිම බණ්ඩාර අඹන්වල
Mahinda Karunarathne-Archaeology.lk-Sri Lanka-Zoo-Archaeology-Meritime Archaeology
මහින්ද කරුණාරත්න

ලක්දිව සංස්කෘත අභිලේඛන තුළින් නිරූපිත මහායාන ආගමික සාධක පිළිබද මූලික විමසුමක්§

චන්දිම බණ්ඩාර අඹන්වල

තාවකාලික කථිකාචාර්ය (2008/10), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ෙප්රාෙදණිය විශ්වවිද්‍යාලය, ෙප්රාෙදණිය.

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

අනෙන දුඃඛං ව්‍යපනීය සර්වං

පුණ්‍යෙන ලොකස්‍ය සුඛං සමග‍්‍රං

දාතුං ප‍්‍රභූර් ජන්මනි ජන්මනි ස්‍යාං

සදා ක්‍ෂමාවී කරුණාන්විතො‘හම්

මා මේ කළ පිනින් හෑම ආත්මයකදී ම ලෝක සත්ත්වයා දුකින් මුදාලීමට හැකි වෙම්වා! ලෝකයාට පූර්ණ සුවය ලබා දීමට හැකි වෙම්වා! ඉවසීම හා කරුණාව මා තුළ පිරී තිබේවා.

කුච්චවේලී ගිරි ලිපිය

ආරම්භ

වසර දහස් ගණනාවෙක යටගියාවකට හිමිකම් කියන ලංකා ඉතිහාස ගමන් මගේ එක් එක් අවස්ථාවන්හි එහි දිශානතිය තීරණය කිරීම සඳහා විවිධ සමාජ, දේශපාලන, ආර්ථික හා ආගමික සාධක බලපෑම් කර ඇත. එවැනි තිරණාත්මක බලපෑම් සිදුකිරීමට සමත් වූ භාරතීය බලවේග අතර ස්ථවිරවාදී බුදුදහම මෙන් ම මහායාන බුදුදහම ද කැපී පෙනේ. එලෙස ම බස, සාහිත්‍යය, විවිධ ශාස්ත‍්‍ර ආදී බොහෝ ක්‍ෂේත‍්‍රයනට තීරණාත්මක මැදිහත් වීමක් සිදුකිරීමට සංස්කෘත බස සමත් ව ඇත. එබැවින් මෙම අධ්‍යයනයේ දී ලංකාවේ දහස් ගණනක් අභිලේඛන අතුරින් සකුවෙන් රචිත ස්වල්ප අභිලේඛන ප‍්‍රමාණයක අඩංගු මහායානික සාධක පිළිබඳ ව මූලික අවධානයක් යොමු කරනු ලැබේ. මහායානයේ ප‍්‍රභේද රැසක් පැවතිය ද ඒ පිළිබඳ ව වෙනවෙන ම අවධානය යොමු නොකොට මෙහි දී අදහස් විමසා බැලේ. මෙම අධ්‍යයනය කෙරෙහි අප සිත් නැඹුරු කැරැ වූ පේරාදෙණී විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ සංස්කෘත බස පිළිබඳ හිටපු සහකාර කථිකාචාර්යවර, අලංකාවේ උපාලි ස්වාමීන් වහන්සේට ස්තුතිය පිරිනැමේ.

ලංකාවේ සංස්කෘත සාහිත්‍යයේ මුලාරම්භය

සාහිත්‍යාගත සාධකයනට වහල් වි සිංහලයේ අතීතය පරික්‍ෂා කිරිමේ දී ඵය කි‍්‍රස්තු පුර්ව 6 වැනි සියවසේ දි සිදු වු විජයාවතරණය සමග සබදකම් දක්වන බව පෙනේ. මේ සමග ම සිංහල බස ද අපට ලැබුණු බව දක්වන සාහිත්‍ය මූලාශ‍්‍ර ඊට සියවස් කීපයක පසුව එළැඹුණු මහින්දාගමනයත් සමඟ ම එයට ලේඛන ව්‍යවහාරය ද සබඳ වු බවත් දක්වයි. සාහිත්‍ය මුලාශ‍්‍ර ඇසුරින් සංසයකින් තොර ව සිංහලයේ මුලාරම්භය අරබයා ඵකඟතාවකට පැමිණිය හැකි වුව ද සංස්කෘත බසේ ආගමනය පිලිබද ව විද්වතුන් අතර පැහැදිළි ඵකඟතාවක් නොමැත. ඔවුන්, 1. ආර්යයන්ගෙ පැමිණිමට පෙර මෙහි සංස්කෘතය පැවැතිණ, 2. ආර්යයෝ ඵය ගෙනාහ හා 3. පසු කලෙකැ මහායානය නිසා ඵය මෙහි පතළ විය (ගුරුගේ 1998:70) යනාදි විවිධ අදහස් මේ සම්බන්ධයෙන් දක්වයි. සාහිත්‍යාගත සාධකයනට අනුව විජයාගමනයත් සමඟ මෙන් ම ඊට පසු ද භාරතයෙන් දිවයිනට ආගමනය වූවන් මාර්ගයෙන් සංස්කෘතය මෙරට මුල් බැසගත් බව අනුමාණ කල හැකි ය. මිට අමතර ව භාරත සංස්කෘතියේ වර්ධනයට සමගාමී ව වෙළෙඳුන්, සංචාරකයින්, ආක‍්‍රමණිකයින් ආදින් මගින් සංස්කෘතය තව දුරටත් ලක්දිවට බලපෑම් කිරිමට ඇති බවත් සිතිය හැකි ය.

ව්‍යාප්තිය

ලංකාවේ සංස්කෘත සාහිත්‍ය පිලිබද ව කරන කවර ම හෝ අධ්‍යනයක දි කාලය හා අවකාශය තුළ ඵහි ව්‍යප්තිය සලකා බැලිම අත්‍යවශ්‍ය වන්නේ ය. කි‍්‍රස්තු පූර්ව 6 වැනි සියවසේ දි පමණ මුලාරම්භ සාධක තබන්නේ යැයි සිතිය හැකි සංස්කෘතය පශ්චාත් කාලින ව ස්ථවිරවාදී බුදුදහමට ප‍්‍රබල අභියෝගයක් ඵල්ල කරමින් මෙරට ස්ථාපිත වු මහායානය හරහා තවතවත් ස්ථාපිත විය. ඇති වු ආගමික ප‍්‍රතිරෝධතාවන් ඔස්සේ මහායානික පොත්පත් රැසක් විනාශ වු අතර ඵ් පිළිබද ව අදහස් දක්වන ජී.එස්.බී. සේනානායක, අර්බුදය විසදනු පිනිස වොහාරිකතිස්ස රජතුමා (කි‍්‍ර.ව. 269) කපිල ඇමතියා ලවා ඵහි සත්‍යාසත්‍යභාවය තිරණය කරවිය. ඔහු ඵ්වා පාලි ති‍්‍රපිටකය සමග සසදා බලා ඵ් සියල්ල ම සාවද්‍යයයි තිරණය කළ හෙයින් ඵ් සියල්ලම ගිනිබත් කෙරිණි. ඵ්වා සියල්ල ම සංස්කෘතයෙන් ලියා තිබිම ප‍්‍රතික්ෂේපයට ආදාල වු ප‍්‍රබල හේතුවක් විය හැකි ය (1998:7).

මහාවිහාරවාසි ස්ථවිරවාදී භික්ෂුහු අටුවා පමණක් නොව, ව්‍යකරණ ද පාලියෙන් ම ලියන්නයට වුහ. ඵහෙත් බෙහෝ විට සංස්කෘත රිතිය අනුගමනය කළහ. පදසාධන, මොග්ගල්ලාන වැනි පොත්වලින් මෙය පැහැදිලි වේ (ඵම). කිතු වසරින් දොළොස්වෙනි සියවසින් පමණ පසු ව ලංකාව කෙරෙහි සංස්කෘතයේ බලපැම ඉමහත් වෙයි. මෙහි ඵලයක් ලෙස භාරතිය මහා කවියා වන කාලිදාසයන් පවා අභිබවනය කෙරෙන ජානකිහරණය කළ කුමාරදාස ආදි කවින් මෙරට බිහිවෙයි. සංස්කෘත බසින් ම සාරාර්ථ සංග‍්‍රහය (බුද්ධදාස රජු – කි‍්‍ර.ව. 338) පද්‍යාචූඩාමණි (බුද්ධඝොෂ ථෙර) මඤ්ජු ශි‍්‍ර භාෂිත වාස්තුවිද්‍යාව වැනි ග‍්‍රන්ථ ද සංස්කෘත මහාකවි ආභාශයන් කව්සිළුමිණ, සංදේශ සාහිත්‍යය ආදි මහානර්ඝ ග‍්‍රන්ථාවලියක් බිහි වෙයි. ඵමෙන් ම සංස්කෘත පද භාවිතය, ප‍්‍රයෝග ආදිය මුල් කැරැගෙන ප‍්‍රධාන ගත්කතුවරුන් පවා තම රචනා ඉදිරිපත් කරන අතර සිංහලය තුළ ද ඵහි බලපැම අධිකතර බව හඳුනා ගත හැකි ය.

kucchaveli-inscription-sanskrit-mahayanism-sri-lanka
කුච්චෙව්ලි ස්තූප සටහන් හා සංස්කෘත ලිපිය ( ෙමම ඡායාරූපය http://studiotimesimagearchive.blogspot.com/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී)

ලංකාවේ සංස්කෘත අභිලේඛන

පුරාවිද්‍යාව, ඉතිහාසය, පුරාණ සමාජ සංස්කෘතිය, භාෂාව ආදිය හදාරන්නනට ප‍්‍රබල මුලාශ‍්‍රයක් වන අභිලේඛන 3,500කට ආසන්න ප‍්‍රමාණයක් ලංකාවේ ස්ථානගත වි පවති. සම කාලිනත්වය සහ විපර්යාසයනට ලක්විමේ සමිභාවිතාව අවම විම යන සාධක ඔස්සේ අභිලේඛන ප‍්‍රබල පුරාවිද්‍යා මුලාශ‍්‍ර විශේෂයක් ලෙසින් හදුනාගත හැකි ය. අභිලේඛන අතරට ගැනෙන සෙල්ලිපි තුළින් යම් ප‍්‍රමාණයකට (වෙසෙසින් අපර බ‍්‍රාග්මි යුගයෙන් පසු ව) සෘජු හෝ වක‍්‍ර සංස්කෘත ආභාශය ලැබි තිබුන ද සංස්කෘත බසින් ම රචිත සෙල්ලිපි හෝ කොටස් ඇත්තේ 17කි (කරුණාරත්න 2001ට පසුව).

ලංකාවේ මහායානවාදය – මුලාරම්භය

ස්ථවිරවාදීනට අනුව ලංකාවේ ප‍්‍රධාන ඇදහිල්ල වන ස්ථවිරවාදයට මුල් කාලින ව ප‍්‍රබල අභියෝගයක් වු මහායානයෙහි මුලාරම්භය අනුරාධපුර යුගය දක්වා ම ගමන් කරන බව පෙනේ. එල්.එස්. කැකුළාවලට අනුව වසර 1,500ක් පමණ වන අනුරාධපුර යුගය තුළ ලංකාවේ දේශපාලන හා සංස්කෘතික ජීවිතය හැඩ ගැස්වීමෙහි ලා උපස්තම්භක වූ බලවේග දෙක වන බමුණු ප‍්‍රභාව හා බෞද්ධ ආභාෂය (1961:125) අතුරින් බමුණු ප‍්‍රභාව නිරූපිත සංස්කෘත බස පිළිබඳ ව විවිධ මූලාශ‍්‍ර විමසා බලමින් මහාචාර්ය, පරණවිතාන; වෝහාරික තිස්ස රජ දවස (ක‍්‍රි. ව. 263-285) මහාවංශයෙහි වෛතුල්‍ය (පාලියෙන් වේතුල්ල) නමින් හැදින්වෙන මිත්‍යා දෘෂ්ටික නිකායක් පළමුවෙන් ම ලංකාවේ දෘෂ්‍යමාන විය. වෛපුල්‍ය සූත‍්‍ර යනු මහායානික ධර්ම ග‍්‍රන්ථයන්ට ව්‍යවහාර වූ සුප‍්‍රසිද්ධ නමකි. සද්ධර්ම පුණ්ඩරීක නම් ග‍්‍රන්ථයේ කැෂ්ගාර්හි තිබී ලැබුණු අත් පිටපතෙහි මේ නම ලියා ඇත්තේ වෛතුල්‍ය සූත‍්‍ර යනුවෙනි. මේ කරුණ සාධක කොට ගත් මහාචාර්ය කර්න් ලංකාවේ වෛතුල්‍ය වාදින් නමින් හඳුන්වන ලද්දේ මහායානිකයන් ම බව පැවසීය… එ බැවින් වෛතුල්‍යවාදීන් මහායානිකයන් බව නො පිළි ගැනීමට හේතුවක් නැතැයි කිව යුතු ය (1962:166). මෙම දත්ත අනුව කිතුවසින් තෙ වැනි සියවස වන විටත් ලංකාවේ මහායානවාදය ස්ථාපිත වි තිබු බව තහහුරු වෙයි.

ලංකාවේ මහායානවාදය – ව්‍යප්තිය

තෙ වැනි සියවස වනවිටත් ලක්දිව තිබු මහායාන වාදය මහාසේන වැනි රජවරුන්ගේ අනුග‍්‍රහය මත තවදුරටත් වර්ධනය විය. මෙහි ඵලාගම අවස්ථාව වශයෙන් මහාවිහාරය ථෙරවාද ලෝකයේ කේන්ද්‍රස්ථානය වන විට මහායානය අරභයා අභයගිරිය ලො පසිදු විය. මෙහි ප‍්‍රභාව ලොව කෙතෙක් පැතිරි තිබුනේද යත් චීන ජාතික දේශගවේෂක ෆා-හියං භික්ෂුව දිවයිනට පැමිණි අවස්ථාවේ මුලින් ම ගමන් ගත්තේ අභයගිරියට වන අතර ඵහි භික්ෂුන් 5,000කට අධික පිරිසක් වැඩ වාසය කළ බව ද සදහන් කර ඇත. මිට සමගාමි ව ජේතවානාරාමය (දෙනානක), තත්ත‍්‍රිමලය, මිහින්තලය, සීගිරිය ආදිය ද මහායානික මධ්‍යස්ථාන ලෙස ක‍්‍රියාත්මක වූ බව වියත්හූ පෙන්වා දෙති. මහායාන ධර්මයේ සියලූ ම සාරය සංග‍්‍රහ කළ ග‍්‍රන්ථය මෙන් සලකන ලඬ්කාවතාර සුත‍්‍රය රචනය/හෝ පරිවර්තනය ලක්දිව දී සැපීරූ බවට ද අදහස් ඇත. මහායාන දහම උදෙසා විශිෂ්ට සේවයක් කළ මහායානිකයන්ගේ මහාවාදියා වන මහායාන භක්තිකයන් විසින් බෝධිසත්ත්ව සංඛ්‍යාවෙහි ලා සැලැකුමට පාත‍්‍ර වන ආර්යදේව හිමියෝ ද සිංහල භික්‍ෂුවක් සේ සැලැකේ. කාලයත් සමඟ විවිධ ගැටුම් ඔස්සේ අද දක්වා ම ගමන් ගත් මහායාන වාදය වාදයක් ලෙසින් කෙසේ වුවත් බෝධිසත්ත්ව සංකල්පය, තාරා සංකල්පය, මන්ත‍්‍ර ආදී විවිධ වශයෙන් වත්මන් ලංකාවේ ථෙරවාද බෞද්ධයන් අතර ම ජීවමාන ව පවතී.

සංස්කෘත අභිලේඛන තුළින් මතුවන මහායානික සාධක – මහායානික ධර්ම කරුණු

මහායානිකයන්ගේ ව්‍යවහාරික බස ලෙසින් හඳුනා ගත හැකි සංස්කෘතයෙන් ලක්දිව ලියැ වී ඇති අභිලේඛන දෙස බැලීමේ දී ඒවා තුළින් විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික කරුණු ඉස්මතුවන බව පෙනේ. එම රාශියක් කරුණු අතරින් මහායාන ආගමික සාධක පිළිබඳ ව මෙහි දී අවධානය යොමු කෙරේ.

මහායාන බුද්ධාගමෙහි ප‍්‍රධාන සිද්ධාන්තයක් වූ ත‍්‍රිකාය පිළිබඳ අදහස හීනයාන බුද්ධාගමෙහි දක්නේ ය. මහායානිකයෝ බුදුන්ට 1. නිර්මාණකාය, 2. සම්බෝගකාය හා 3. ධර්මකාය යනුවෙන් කායත‍්‍රයයක් ඇතැයි කියති. මෙම අදහස පළමුවෙන් ම උපදවන ලද්දේ මහායානිකයන් විසිනි (සාසනරතන ස්ථවිර 1952:203). ලංකාවේ මහායානවාදය හා සම්බන්ධ පැරණි ම ශිලාලේඛනය ලෙස මහාචාර්ය පරණවිතාන දක්වන (1962:173) මිහින්තලේ කදු මුදුණට පහතින් අම්බස්තලයේ සේලචේතිය අසළ ගලක කෙටූ ලේඛනයේ ඉහත දැක් වූ මහායානිකයන්ගේ ප‍්‍රධාන සිද්ධාන්තයක් වන ත‍්‍රිකාය වන්දනය පිළිබඳ ව තොරතුරු දැක් වේ යැයි සැලැකේ.

… වන්දෙ ප‍්‍රත්‍යාත්ම වෙද්‍යන්තමහමනුපමං ධර්මකායං ජිනානාම්

තමා විසින් පමණක් දත හැකි, අනුපම වූ බුදුරදුන්ගේ ධර්මකාය වඳිමි.

… වන්දෙ සම්භොගකායං තමභමීහ මහා ධර්මරාජ්‍යප‍්‍රතිෂ්ඨම්

මහා ධර්ම රාජ්‍යයට ප‍්‍රතිෂ්ඨා වූ බුදුරජුන්ගේ සම්භෝගකාය වඳිමි

… වන්දෙ නිර්මාණකායන් දශදිගනුගතං තං මහාර්ත්ථං මුනීනාම්

දශදිශාවෙහි පතළ මහාර්ථ වූ බුදුරජුන්ගේ නිර්මාණකාය වඳිමි

ශ‍්‍රග්ධරා වෘත්තයෙන් පබඳන ලද මෙම ලිපිය එහි අන්තර් ගත කරුණු නිසා ම මිහින්තලේ ත‍්‍රිකායස්තව ලිපිය යනුවෙන් හඳුන්වයි. මෙම ලිපිය කිතුවසින් අටවෙනි සියවසට අයත් සේ සැලකේ (පරණවිතාන 1962:173). මෙම ත‍්‍රිකාය පිළිබඳ තවදුරටත් විමසා බැලීමේ දී ධර්මකාය හෝ ධර්මධාතු නමින් හැඳින්වෙන ධර්ම ශරීරය සියලූ බුදුවරුන් පිළිබඳ සාරාත්ථීය වන අතර, එය සියලූ සංස්කාරයනුත් පුද්ගලයිනුත් සඳහා පදනම් ව ඇති එක ම නිත්‍ය සත්‍ය යනුවෙන් විස්තර කරනු ලැබේ. සම්භෝගකාය හෙවත් ප‍්‍රමොද ශරීරය නම් බුදුවරයන් ස්වකීය ස්වර්ග ලෝකයන්හි පෙනී සිටින විට හෝ දිව්‍යමය ශ‍්‍රී විභූතියෙන් දර්ශනය වන වෙනත් අවස්ථාවල දී නො ගන්නා ප‍්‍රභාෂ්වර උත්තර මනුෂ්‍ය දේහ විලාසයයි. නිර්මාණකාය වෙස්පෙරලෙන ශරීරය නම් සාක්‍යමුනීන් විසින් දරන ලද මනුෂ්‍ය වේශයයි (පරණවිතාන 1962:173,174). මේ අනුව බැලීමේ දී මිහින්තලේ ත‍්‍රිකායස්තව ලිපිය ඇසුරින් ප‍්‍රධාන මහායානික ධර්ම කරුණක් වූ බුදුරදුන්ගේ ධර්මකාය, සම්භොගකාය, නිර්මාණකාය යන ත‍්‍රිකාය පිළිබඳ තොරතුරු හෙළි වන බව පෙනී යයි. මෙම ලිපිය පිළිබඳ ව තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන; සෙල් ලිපියේ අඟ හරියේ දී මේ ස්ත්‍රෝත‍්‍රය රචනා කළ භික්‍ෂුවගේ නම සඳහන් වී ඇතත් අවාසනාවකට මෙන් එය පැහැදිළි නැත. ඔහු ‘බෝධි සත්ව ගුණයන්ට ආකරයක් බදු යැ’ යි (බෝධිසත්ව ගුණාකරඃ) විස්තරකොට ඇත. බෝධිසත්ව ගුණාංග විශේෂයෙන් උතුම් කොට සලකන ලද්දේ මහායානිකයන් විසින් බැවින් මෙහිලා ද මහායාන මතයන්ගේ ආභාෂය දැකි ය හැක. මේ ලේඛනය සංස්කෘතයෙන් ලිවීමත්, විකාශනය වූ ත‍්‍රිකාය ධර්මයට කර ඇති ඉතා පැහැදිලි සඳහන් කිරීමත් සහ එහි රචකයා බෝධිසත්වයෙක් යැයි හැඳින්වීමත් යන මේ කරුණු මේ ලේඛනය මහායානික එකක් බව ඔප්පු කිරීමට සෑහෙන සාක්‍ෂි වේ (1962:174).

ත‍්‍රිකුණාමලයට සැතපුම් 30ක් පමණ උතුරින් පිහිටා ඇති තිරියාය වටදාගෙය අසළ උස් ගල් පර්වතයක පැත්තක ලියා ඇති කිතු වසින් 7, 8 සියවස්වලට අයත් පල්ලව ග‍්‍රන්ථාක්ෂරයෙන් ලියූ ලිපිය ද ලක්දිව මහායානික සාධක පිළිඹිබු කරයි. මේ පිළිබඳ අධ්‍යයයනය කළ බී.සී. චාබ‍්‍රා (B.C. Chabra) මෙම ලිපිය පද්‍යයෙන් ලියැවුණු ලිපියකැයි ද පළමු පද්‍ය දහය නර්දටක වෘත්තයෙන් ද එකළොස් වැන්න උපජාති වෘත්තයෙන් ද පබැඳුනකැයි ද පෙන්වා ඒ සියල්ල ශ්ලෝක ස්වරූපයෙන් විස්තර කැරැු දෙන ලදී. ත‍්‍රපුස්සක හා වල්ලික යන වෙළඳුන් විසින් මෙහි ඇති ගිරිකණ්ඩික චෛත්‍ය කරවන ලදැයි ද බුදුනට පළමු දානය පිරිණැමූ වෙළෙඳුන් විසින් මෙහි පරිගෘහිත ධාතු ලබන ලදැයි ද දැක් වෙයි.

… ගුරු අවලොකිතේශ්වර ඉති ප‍්‍රථිතො භගවාන් තත් අහර් අහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍ය අහම්

… ගුරු වූ අවලෝකිතේශ්වයන් වසන්නා වූ ගිරිකණ්ඩික චෛත්‍ය වඳිමි ….

ගිරිකණ්ඩික චෛත්‍ය මහායානික පූජ්‍යස්ථානයක් වශයෙන් වැදැගත් තැනක් හිමිකරගත් බව මෙම ලිපියෙන් ම පෙනී යයි. එම ථූපය ඉහත දැක් වූ පරිදි අවලොකිතේශ්වර, මංජු ශ‍්‍රී හා බුදුන්වහන්සේ යන තෙපලට ම වාසස්ථාන වූ බව මෙම ලිපිය දක්වයි.

අප‍්‍රමාණ බෝසත්වරුන් ප‍්‍රමාණයක් මහායානිකයන් විසින් අදහනු ලැබේ. එයින් ධ්‍යානී බෝධිසත්ත්ව – මහාස්ථාන ප‍්‍රාප්තී, ත්‍රෛලොක්‍යවිජඨී යනුවෙන් හඳුන්වන බෝසත්වරු අටදෙනෙක් ඔවුන් ප‍්‍රධාන කොට සලකයි. එයින් ද ප‍්‍රමුඛ ස්ථානයක් අවලෝකිතේශ්වරයනට හිමිවන අතර සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය ආදියේ ද මෙතුමා පිළිබඳ ව දැක්වෙයි. සමස්ත විශ්වය ම බලන ප‍්‍රධානියා යන සාමාන්‍ය අර්ථය දරන මෙම බෝසතුන් ඕම්, මණි පද්මේ හුම්! යනුවෙන් නිතර ම සිහි කිරීම මහායානිකයන්ගේ සිරිතයි. මේ අතර මහායානික සාධක ප‍්‍රමාණයක් තිරියාය සංස්කෘත ලිපියෙන් එළි දැක් වේ.

ස්ථවිරවාදය හෙවත් හීනයානට අනුව බුද්ධ ප‍්‍රත්‍යේක බුද්ධ, අරහත් යන ඕනෑ ම යානයකින් නිර්වාණ කටයුතු සිද්ධ කළ හැකි නමුත් මහායානිකයන් බුද්ධත්වය තුළින් ම නිර්වාණය අපේක්ෂා කරයි. සියලූ සත්ත්වයින් දුකින් මුදවා ලීම සඳහා බුද්ධත්වයට පත්වීමට සෑම කෙනකුට ම උත්සාහ කළ හැකි බව මහායානයේ ඉගැන්වෙයි. මෙම අදහස් ලංකාවේ ව්‍යාප්ත වීමත් සමඟ කවරාකාර හෝ පූජාවකින් බුද්ධත්වය ප‍්‍රාර්ථනා කිරීමට ජනයා හුරු විය. ති‍්‍රකුණාමලයේ කුච්චවේලිහි සංස්කෘත ශිලාලේඛනය ද මෙම කැපී පෙනෙන මහායානික සංකල්පය ගෙනහැර පායි. මෙම ලිපියට ඉහළින් ගලෙහි කැටයම් කර ඇති ස්තූප 25ක සටහන පාදක කරගෙන. මෙම පුන්‍ය කර්මය හේතු කොට ගෙන …. උත්තරීතර බුද්ධත්වයට පත් ව සංසාරය නැමති මඩ වගුරින් සියලූ සත්ත්වයා ගොඩ ගැනීමට හැකි වෙම්වා! ආදි ලෙස තම ප‍්‍රාර්ථනය ඉදිරිපත් කරයි. මහායානයට අනුව බෝධි චින්තනය උපදවා ගනු කැමති බෝධිසත්තවයකු විසින් සප්තවිධ අනුත්තර පූජාවන් කළ යුතු බව දැක් වේ. 1. වන්දන, 2. පූජන, 3. පාපදේශන, 4. පුණ්‍යානුමෝදන, 5. බුද්ධාද්‍යපණ, 6. බුද්ධයාචන හා 7. බෝධිපරිණාමණ වශයෙනි. මෙහි සිව් වැනි පුණ්‍යානුමෝදන යන්නෙන් තමා විසින් සිදු කළ සියලූ කුශල කර්මයන් සකල ලෝක වාසීනට අනුමෝදන් කරවීම සහ එම සත්ත්වයනට තමා ලබන මෝක්ෂය ද ලැබේවායි අනුමෝදන් කරවීම අදහස් වෙයි. මේ ලිපිය ඇසුරින් ද සංසාරය නැමති මඩ වගුරින් සියලූ සත්ත්වයින් එගොඩ කරවීමට තමාට හැකි වේවා යි කරන ප‍්‍රාර්ථනයෙන් එය පැහැදිලි වෙයි. බෝධි පරිණාමණ යන්නෙන් තමන් විසින් සිදු කළා වූ සියලූ යහපත් කර්මයන්ගේ ඵළයෙන් සත්ත්වයන්ගේ දුක සංසිදුවනු පිණිස බෝධියට පැමිණෙවායි පැතීම සිදු වේ. අප කතා නායකයා ද මෙ පුන්‍ය කර්මයේ බලයෙන් මට මාරයා හා පාපය යන සතුරන් ජය ගැනීමට හැකි වේවායි එනම් බුද්ධත්වයට පත් වීම ප‍්‍රාර්ථනය කරයි.

බෝධි චින්තනයෙන් ප‍්‍රබෝධමත් වූ බෝධිසත්තවයෝ දශප‍්‍රණිධානයන් පිරීමෙහි නියැලෙති. අවතංසක සූත‍්‍රයෙහි දැක්වෙන දශප‍්‍රණිධානයන් දක්වන ශාසනරතන ස්ථවිරයණට අනුව 6. සියලූ සතුන්ගේ හිත සැප වැඩි වීම දියුණු වීම පිණිස පහසුවෙන් ධර්මය දේශනා කිරීමට මම සමර්ථ වෙම්වා! 8. ධර්ම චක‍්‍ර ප‍්‍රවර්ථනයෙන් දශදික් හී වසන සියලූ සත්ත්වයෝ මාගේ ධර්මය අසා මාගේ නාමය අසා, කෙලෙසෙුන් කෙරෙන් දුරු ව ඔවුන්ගේ බෝධි චිත්තය පුරුදු කරත්වා! (1952:219). කුච්චවේලි ලේඛකයා ද දශප‍්‍රණිධානයන්ගෙන් ඉහත දක්වන ලද ද්වය පිරීමට ගන්නා උත්සාහය ද මෙම ලිපියෙන් පෙනී යයි.

විවිධ ආගමික ස්ථාන ආශ‍්‍රිත ව ලැබුණු රන්පත් ඉරු, තඹ පත් ඉරු රාශියකින් ද මහායානික සාධක රැසක් ම හෙළි වේ. 1982 දී අනුරාධපුර ජේතවන විහාර ව්‍යාපෘතියේ කැනීමකින් හමු වූ රන්පත් ඉරු 7 ඒ අතුරින් වැදගත් සොයාගැනීමකි. කිතුවසින් 9 වැනි සියවසට අයත් යයි සැලැකෙන මෙම රන් පත් ඉරු 7හි සිංහල අක්ෂරයන්ගෙන් ලියූ ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රයේ කොටසක් ද ඇතුළත් ය. මහායානයට අනුව දාන, ශීල, ක්ෂාන්ති, වීර්ය, ධ්‍යාන යන පංචපාරමිතාව ම ප‍්‍රඥාව ලබාදෙන මාර්ග වන අතර ප‍්‍රඥාව මඟින් භව දුක්ඛය උන්මූලනය කරයි. එනම්, ප‍්‍රඥා පාරමිතාවේ උදාවීමෙන් සංසාර නිවෘත්තිය ද නිර්වාණ ප‍්‍රාප්තිය ද සිද්ධ වෙයි. මෙම පත් ඉරු තුළ බුදුරදුන් ගිජුකුළු පව්වේ දී කළ ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රය පිළිබඳ ව ද මංජු ශ‍්‍රී මහාස්ථාම්ප‍්‍රාප්ත, මෛත‍්‍රිය ආදී බෝධිසත්ත්වයන් පිළිබඳ ව ද, තතාගතයන් වහන්සේට කළ යුතු පුදපූජා, ඒවායෙ පල විපාක ආදිය පිළිබඳ ව ද අඩංගු වෙයි. මේ අනුව ලංකාවේ මහායානික බලපෑම පිළිබඳ ව තොරතුරු දක්වන ප‍්‍රධාන මූලාශ‍්‍රයක් ලෙස ජේතවනාරාම රන්පත් ඉරු හඳුනා ගත හැකි ය.

පොළොන්නරුවේ පබළු වෙහෙරින් ලැබුණු ක‍්‍රි.ව. 9 හෝ 10වන සියවසට අයත් තඹ පතක ඕං මණිපද්මේ ස්වස්ති යන්න දැක ගත හැකි ය. මෙය මණිපද්මා හෙවත් තාරා දේවියට කෙරෙන අභියාචනයක් ලෙස සැලකේ. නේපාලය හා ටිබෙටය යන රටවල එය ඕං මණිපද්මේ හුං යයි ලියනු ලැබේ. තාරා වන්දනාව මෙම කාලයේ ද ලංකාවේ ප‍්‍රචලිත ව තිබුණු බව පෙනේ යනුවෙන් මෙය මහායානික තාරා ඇදහිල්ලේ අවස්ථාවක් බව සද්ධාමංගල කරුණිරත්න පවසයි (1991:21). නමුත් අප දැනුම අනුව ඕම් මනිපද්මේ හුං යන මන්ත‍්‍රයෙන් සිහිපත් කරන්නේ තාරා පමණක් නොව ප‍්‍රධාන ලෙසින් ඇයගේ ස්වාමියා වන අවලෝකිතේශ්වර හා ඔවුන් අතර සහවාසයයි. ඒ අනුව, කරුණාරත්නයන්ගේ අදහස සුපැහැදිලි නො වන නමුත් නිසැකයෙන් ම මෙය මහායානික අදහසක් පෙන්නුම් කරන සාධකයනක් ගෙනහැර දක්වන අවස්ථාවක් බව තහවුරු වෙයි.

buduruvagala-buddhist-art-sri-lanka
බුදුරුවගල පුදබිම (ඡායාරූපය http://mapio.net/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

අනුරාධපුරයෙන් ලැබුණු තඹ තහඩුවක ක‍්‍රි.ව. 6 වැනි සියවසේ නාගරී අක්ෂරයෙන් සටහන් කර ඇති ඕං වජ‍්‍රාතීක්ෂරම් යන යෙදුම දෙස බලා සද්ධාමංගල කරුණාරත්න වජ‍්‍රාතීක්ෂර නැමැති මහායාන දේවතාවකු ගැන දැන ගන්නට නැතත් වජ‍්‍ර යනුවෙන් එහි මහායාන ස්වරූපය පැහැදිලි වන බව දක්වයි(එම). මිහින්තලෙහි ඉඳිකටු සෑයෙහි තිබී හමුවුණ තඹ තහඩුවල සිංහල සහ බෞද්ධ සංස්කෘත බසින් ලියැවුණු astanam bhiksu sata/ sigghasane nisannah punar-api/ yasyedanim kalam manyasa tat manyasa ආදී පාඨයන් පිළිබඳ ව අවධානය යොමු කළ මහාචාර්ය පරණවිතාන ඒවා පඤ්චවිංශති සාහස‍්‍රිකා, ප‍්‍රඥා පාරමිතා සහ කාශ්‍යප පරිවර්ත යන මහායාන සූත‍්‍රවල පාඨ බව දක්වයි (1928ථ166-167). අනුරාධපුරයට සැතපුම් දෙකහමාරක් පමණ උතුරින් පිහිටා ඇති විජයාරාම ස්තූපයේ තිබී හමු වූ තඹ තහඩු තුළින් ද මහායානික ඇදහිලි පිළිිබඳ සාධක ලැබේ. තාරා දේවිය සහ අවලොකිතෙශ්වර සහ ආකාශගර්භ යන බෝධිසත්ත්වයන් ද ශිඛින් හා ගගන බුද්ධ යන බුදුවරුනට ද කළ යැදීම් මෙම තහඩු තුළ අන්තර් ගත වන අතර ඕම්, කිලිකිලි, හුරුහුරු හා ස්වාහා යන ශබ්ද ඒවායේ බහුල ව යෙදී ඇති බව පරණවිතාන දක්වයි (1962:175). තවදුරටත් අදහස් දක්වන පරණවිතාන මේවායින් තාන්ත‍්‍රිකවාදය බෙහෙවින් විකාශනයට පත් අවධියක් පිළිඹිබු අතර ඒවා අයත් කාලය වන නවවන ශතවර්ෂයේ දී මහායාන දෙවිදේවාතාවන්ට වැදුම්පිදුම් කිරීම ප‍්‍රචලිත ව පැවති බව ඔප්පු වේ (එම) යනුවෙන් මෙම කාල පරිච්ඡේදයට ම අයත් සාධාරණ අදහසක් ඉදිරිපත් කරයි.

ඡායා හා අනියම් මහායානික සාධක

ඉහත සාකච්ඡා කළ පරිදි ලාංකේය සංස්කෘත ශිලාලේඛන අතුරින් 17කින් පමණ මහායානික සාධක සෘජු ව ගම්‍යවන බව පෙනී යයි. එහෙත් පොදුවේ සියලු ම අභිලේඛන දෙස බැලීමේ දී ඒවා සියල්ලෙන් ම අනියම් ආකාරයෙන් හා ඡායා වශයෙන් මහායානික සාධක ඉස්මතු වෙයි.

මෙම අභිලේඛනයන්ගේ බස පිළිබද ව අවධානය යොමු කිරීමේ දී එවැනි සාධකයක් ගම්‍ය වෙයි. ස්ථවිරවාදීන්ගේ නිළ බස පෙල බස වූවා සේ ම මහායානිකයන්ගේ නිළ බස වූයේ සකුවයි. සංස්කෘතය ඇති සෑම ස්ථානයක ම මහායානිත සාධක ඇතැයි යන යට පුළුල් උපන්‍යාසයට පිවිසීම එතරම් ශාස්ත‍්‍රානූකූල නො වූවත් ශිලාලේඛනයක් වැනි සම කාලීන ප‍්‍රධාන සංනිවේදන මාධ්‍යයක් සදහා සංස්කෘත බස උපයෝගි කර ගැනීමේ දී සකුව මනා ව දත් පිරිසක් එම ස්ථානය හා බැදී සිටි බව පෙනේ. ඒ අනුව, එම බස මනා ව හදාරන්නා වූ මහායානිතයන් එවැනි ස්ථාන හා සම්බන්ධ හෝ එම ස්ථානයේ සිටි බව පෙනි යයි. සාහිත්‍ය හා පුරාවිද්‍යා සාධක ඇසුරින් ජාත්‍යන්තර මහායානික බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසින් පෙනී යන අභයගිරි විහාර සංකීර්ණය මෙය මනා ව ඔප්පු කරන අනර්ඝ අවස්ථාවකි. වෙසෙසින් නේවාසිකයන් මෙන් ම ආගන්තුකයන් ද කියවා ධාරණය කරගත යුතු විහාර පාලන විධි, චර්යාවන් ආදිය අඩංගු ව්‍යවස්ථාවන් සහිත ජේතවන (අභයගිරි) පුවරු ලිපිය සංස්කෘතයෙන් ඉදිරිපත් කිරීම මෙම තත්ත්වය පෙන්නුම් කරයි. මෙම කේන්ද්‍රීය සාධකය පදනම් කර ගනිමින් සංස්කෘත අභිලේඛන ලැබෙන මිහින්තලය, විජයාරාමය, කපාරාරාමය, පබළු වෙහෙර, කුච්චවේලී ආදී අනෙක් ස්ථාන ආශ‍්‍රිත ව ද යම් අයුරෙක මහායානික සබදතාවන් පැවැති බව උපකල්පණය කළ හැකි ය.

තිරියාය ශිලා ලේඛනය පිළිබද ව අදහස් දක්වන එල්. එස්. කැකුළාවල අවලෝකිතෙශ්වර බෝධිසත්‍වයන් ලංකාවේ ශිලාලේඛන වලත් සාහිත්‍යයේත් හැදින්වෙන්නේ ලෝකේශ්වර, ලෝකේශ්වර නාථ හෝ නාථ යන්නෙන් ද පමණී. ඔවුන් අවලෝකිතෙශ්වර යන ප‍්‍රථිත නාමයෙන් ම ලංකාවේ හැඳින්වුණු තැනක් පළමු වරට දක්නට ලැබෙන්නේ මේ සෙල්ලිපියෙහි ය (1961:132) යනුවෙන් දක්වයි. වැලිගම කුෂ්ඨරාජාගල පිළිබද ව ආචාර්ය ඒ. නෙල් මහතාගේ අදහස් උපුටා දක්වන ඔහු එය රජ කෙනෙකුගේ ස්වරූපය ගත්ත ද මකුටයෙහි හා අතින් ගත් පියුමෙහි ද දක්වන අමිතාභ නම් ධ්‍යානී බුදුන්ගේ ස්වරූපය නිසා අවලෝකිතෙශ්වරයන්ගේ ප‍්‍රතිමාවක් ලෙස සැලකිය හැකි ය (එම :133) යනුවෙන් පෙන්වා දෙයි. මෙම කරුණුද්වයේ ම පවත්නා සාම්‍යතාව පිරික්සන කැකුළාවල තිරියාය සමුද්‍රාසන්න ස්ථානයකි. වැලිගම ද එවැනි තැනෙක්හි මැ පිහිටියේ ය. මේ දෙතැන හා ම නුදුරු තන් හී නාවික ගමනාගමනය කැරෙන්නට ඇති බවට සාධක දැක්විය හැක. අවලෝකිතෙශ්වරයන් ම මේ ස්ථාන හා සම්බන්ධ වූයේ මේ හේතු කොටගෙන විය යුතු ය (එම) යනුවෙන් අදහස් දක්වයි. මෙම කරුණු ඇසුරින් පෙනී යන මහායානික ඡුායා සටහනකි, යම් යම් ප‍්‍රදේශයන් කෙරෙහි ස්වදේශික මහායානික ආයතනයන්ගේ බලපෑම මෙන් ම විදේශීය වශයෙන් ද මහායානික බලපෑම ලැබුණූ බව. එතුළින් ම ලක්දිවට පරිබාහිර ව පැවැති දියුණු මහායානික ඇදහිල්ල පිළිබදවත් සාධක ලැබේ.

සද්ධර්මපුණ්ඩරිකයට අනුව නමෝනමස්තෙසෙම අභයංදද-අවලෝකිතෙශ්වරාය බෝධිසත්ත්වාය මහාසත්ත්වාය යන පාඨය කියන ඕනෑ ම අයෙක් නෞකාභඬ්ග, ගිණි ආදී සියලූ භයෙන් මුදවනු ලැබෙතැයි දැක් වේ. ඒ අනුව මුහුද හා සම්බන්ධ ඉහත ස්ථානද්වයම අවලෝකිතේශ්වර වන්දනය පිළිබද ව දක්වන සාධක මෙම මතයෙන්, විශ්වාසයෙන් සන්නද්ධ නාවිකයන්ගේ අදහස් ගෙනහැර පාන බවට සාධක වශයෙන් ගත හැකි අතර ම ස්ථවිරවාදයට සාපේක්‍ෂක ව මහායානය හා බැදි ලෞකික ඇවැසිතා පූරණය කිරීමේ නැඹුරුතාවත් විශධ කරයි. එම ලිපිය හා පැනෙන ගිරිභණ්ඩපූජාව පිළිබද ව විවාදපන්න අදහස් කීපයක් දක්වන කැකුළාවල එය මහායානිකයන්ගේ හා ඔවුන්ගේ පුදපූජා විධි හා යම් සම්බන්ධතාවක් දැක් වූවක් ලෙසට ඉදිරිපත් කරයි (එම:132). එම කරුණු සත්‍ය සේ ගතහොත් මහායානය හා සබැඳි පූජා උත්සවයක් පිළිබද ව සාධක ඉදිරිපත් වීමක් ද තිරියාය ලිපිය හරහා සිදු වී ඇත.

සංස්කෘත පත්ඉරු මඟින් ලංකාවේ මහායාන බෞද්ධයන් අතර පැවැති පුරුද්දක් පිළිබඳ ව සාධක ද ගම්‍ය වන බව පෙනේ. ලංකාවේ බෞද්ධයන්, විශේෂයෙන් මහායානයට බර වූ විශ්වාස ඇත්තවුන් අතර, සංස්කෘත බෞද්ධ දහම් පොත් වලින් උපුටා ගත් කෙටි පාඨ කෙටුම් කළ ලෝහ තහඩු චෛත්‍යවල තැම්පත් කිරිමේ පුරුද්දක් පැවති බව ඉඳිකටු සෑයෙහි සහ විජයාරාමයෙහි තිබී ලැබුනු තහඩු වලින් පෙනී යයි (පරණවිතාන 1962:175). විශේෂයෙන් පඤ්චවිංශති සාහශ‍්‍රිකා, ප‍්‍රඥාපාරමිතා, කාශ්‍යපපරිවත වැනි ධර්ම ග‍්‍රන්ථ මෙහි ලා උපයෝගි කොටගෙන ඇති බව පෙනී යන අතර මෙය බොහෝ දුරට මහායානිකයනට අනන්‍ය වූ ඇදහිල්ලක්/වතාවතක් බව ද පෙනේ.

ආශ්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • අමරවංශ හිමි, කො. (1969) ලක්දිව සෙල්ලිපි, සීමා සහිත ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • කරුණාරත්න, එස්. (1991) ලංකාවේ සංස්කෘත ශිලාලිපි, ශාස්ත‍්‍රිය සංග‍්‍රහය, එච්. වජිරඥාන හිමි, හා තවත් අය ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම (17-24)
  • කැකුළාවල, එස්. එල්. (1961) සංස්කෘත සාහිත්‍යය, අනුරාධපුර යුගය, ඒ. ලියනගමගේ හා ආර්. ගුණවර්ධන, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (125-144)
  • ගුරුගේ, ඒ. ඩබ්ලියු. පී. (1998) සංස්කෘත භාෂා සාහිත්‍යය, ව්‍යාප්තිය හා ආභාසය, අපේ සංස්කෘතික උරුමය, සංස්කරණය, ඒ. ඩබ්ලියු. පී. ගුරුගේ, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ. (69-117)
  • ඤාණවිමල හිමි, බී. (2001) ජේතවනාරාම සංස්කෘත ලිපිය, ශාස්ත‍්‍රිය සංග‍්‍රහය, සංස්කරණය, වී. ධම්මරක්ඛිත හිමි හා තවත් අය, ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම (1-5)
  • ඩයස්, එම්. (1992) ලක්දිව සෙල්ලිපි තුළින් මතුවන මහායානික සාධක, ශාස්ත‍්‍රිය සංග‍්‍රහය, සංස්කරණය, පී. ඥාණාරාම හිමි හා තවත් අය, ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම (122-129)
  • පරණවිතාන, එස්. (1962) ලංකාවේ මහායාන වාදය, පුරාණ යුගය: ශාස්ත‍්‍රීය ලිපි, සංස්කරණය, එස්. ඞී. සපරමාදු, තිසර ප‍්‍රකාශකයෝ, දෙහිවල. (195-206)
  • මහාවංශය, ප‍්‍රථම භාගය (සංස්කරණය, එච්. ශ්‍රී සුමංගල හිමි හා බී. එස්. දේවරක්‍ෂිත, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
  • සාසනරතන හිමි, එම්. (1952) ලක්දිව මහායාන අදහස්, ඇම්. ඇෆ්. ඞී. පෙරේරා, පානදුර.
  • සේනානායක, ජී. එස්. බී. (1998) ශ්‍රී ලංකාවේ සංස්කෘත සාහිත්‍යය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Epigraphia Zeylanica Vol. I, II, IV & V
  • Paranavitana, S. (1928) Epigraphical Summary, Ceylon Journal of Science Section G. vol. I, Ed. by. A. M. Hocart, The Archaeological Commissioner Ceylon, Colombo. (165-173)
  • Paranavitana, S. (1928a) Mahayanism In Ceylon, The Ceylon Journal of Science Section G. vol. II, Ed. by. A. M. Hocart, The Archaeological Commissioner of Ceylon, Colombo.

§ – මෙම ලිපිය පළමු වරට පහත දැක්වෙන ස්ථානයේ ප්‍රකාශයට පත් විය.කතුවරයාගේ පූර්ණ අවසරය සහිත ව මෙම ලිපිය නැවත මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරනු ලැබේ.

විකල්ප පුරාතත්ත්ව, දෙවන කලාපය, 2008/2009, පුරාවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. (17-28)

ලක්දිව පැරණි ම පුස්කොළ පොත් පිළිබඳ හැඳින්වීමක්

වයි. කේ. තිස්ස බණ්ඩාර

පුස්තකාලයාධිකාරි, බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, පුත්තලම පාර, අනුරාධපුරය.

වයි.කේ. තිස්ස බණ්ඩාර

ආදියෙහි පටන් ලිවීමට යොදාගත් දැනුදු වෙසෙසි වුවමනාවක් සඳහා කලාතුරකින් යොදාගැනෙන ද්‍රව්‍ය විශේෂයකි, පුස්කොළය. “පුස්කොළ” යන වදනේ තේරුම කුමක් ද? පුස්-නම් ධාතුවක්, ක‍්‍රියා මූළයක් හෙළ බසෙහි ඇත. වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ ශ‍්‍රි සුමඞගල ශබ්ධ කෝෂයෙහි ඒ ධාතුව මෙ නයින් විස්තර කරනු ලැබේ.

පුස්(ධා) – පිය දැමීමෙහි පුසී පුසිත්; පිසි, පිසී (පුස්මින් -නෛක‍්‍රි – ධප‍්‍ර 234)

පුස් යන්නෙහි යට දැක්වුණු අරුත්ගන්නා ලද්දේ පැරණි පොත පතිනි. ඒ සියලු පොත් ලිවීමේ කාර්යය හා සම්බන්ධ ඒවා නොව භික්‍ෂු ආරාමික ජීවිතය පසුබිම කොටගෙන සැකසුණු ඒවා ය. පිස දැමීමට, පිරිසිදු කිරීමට ගන්නා කොහු, ඉදල්, ලී කැබලි යනාදි උපකරණ ලිවීමට ගන්නා ද්‍රව්‍යයට බෙහෙවින් වෙනස් යැයි කෙනෙකුට පෙන්වා දිය හැකි ය. එ බැවින් පුස්කොළයත් ඒ ද්‍රව්‍යයත් අතර සම්බන්ධතාවක් වේ නම්, එය ඉතා දුරස්ත යැයි තර්ක කළ හැකි ය. පුස් (පිසීමෙහි) සකර්මක ධාතුවක් ද ඇත. එය අරුත් දෙකක වැටෙයි. එකක් පිසීම, (අහර) ඉවීම යන අරුතයි. අනෙක පිසීම, පිස දැමීම යන්නයි. මේ ප‍්‍රථම ධාත්වර්ථයෙන්, එනම් අහර පිළියෙළ කිරීමේ අරුතින්, පිසූ නම් අතීත කෘදන්ත පදයක් සෑදෙයි. පිසු යන්නක් ලැබෙතත් “පුසු” යන්නක් ලැබෙතත්, “පුසු” වැනි රූප ගැන අසන්නට නොලැබෙයි. ලිවීමේ කාර්යය සඳහා ගනු ලබන ද්‍රව්‍ය තල ගොබයයි. පත‍්‍ර අසූවක් සියයක් පමණ ඇති තලගොබයේ ඉරටුව ඉවත් කොට දැවැටුමක් ලෙස ඔතනු ලැබේ. ඒ “දැවටු” ලොකු දිය හැලියක බහා පැය කිහිපයක් මඳ ගින්නේ තම්බනු ලැබේ. මේ අරුතින් තැම්බූ කොළය “පිසූ කොළය” පුස්කොළය වන්නට ඇතැයි සිතන්නට කිසිවෙකු පෙළෙඹෙන්නට බැරි නැත. එහෙත් යට කී පරිදි, අතීත කෘදන්ත රූපය වන පිසු යන්න “පුසු”, “පුස්” යන්නට පෙරළිණියි සිතීම අසීරු ය.

පුස්කොළ ලේඛන (මෙම ඡායාරූපය https://www.flickr.com/ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

පිසදැමු පිරිසිදු කොටගත් යන දෙවන අරුත්හි වැටෙන රූපයෙන් සාදාගත් අතීත කෘදන්ත රූපයක් පුස්කොළ යන්නේ මුල් ශබ්ධයට සම්බන්ධ කරගැනීමට ඒ හේතුව ම බාධක වේ. පිස දැමූ, පිරිසිදු කොටගත්, පිසූ (තැම්බූ) යන අරුත් ඇති පුස් – ධාතුව ම පුසු කොළය යන පදයේ මුල් ශබ්ධය වන්නට නොහැකි ද? ගැටලුවකට ඇත්තේ ක‍්‍රියා මූලය, එනම් ධාතුව ම අතීත කෘදන්ත අර්ථයෙන් යෙදෙන බවක් සිංහල ව්‍යයහාරයේ නොයෙදීමයි. බල, බම, බණ, පිහිටි, රක්, බස් යන ක‍්‍රියා මූල පිළිවෙළින් බැලූ, බැමු, බිණු, පිහිටු, රැකි, බට යන කෘදන්තාර්ථ ගැප්කොට ඇත්තේ ද? පිසූ, පිරිසිදු කොටගත් යන අරුත් පුස්කොළය හැඳින්වීමට යෝග්‍ය වුවත්, එසේම ඒ කොළය වෙසෙසා දැක්වීමට සුදුසු විශේෂණ පද වුවත් පිසු කොළය පුස්කොළයට පෙරැළුණැයි ගැනීම සිංහල භාෂා රීතියට පටහැණි යැයි මහාචාර්ය ආනන්ද කුලසූරිය සඳහන් කරයි. පුස් -කොළ, පත් (කඕකා) යන්නට ශ‍්‍රී සුමංගල ශබ්ධකොෂයෙහි අරුත් දැක්වෙන්නේ “කිසිවක් නො ලියූ හිස් කොළය” යන ලෙසිනි. එසේම “පුහු ගෙඩි යන්න” පොතක් මෙන් සෑඳු තලකොළ මිටිය ලෙස හැඳින්වෙයි. මෙ තැන්හි “පුස්” යන්නට දී ඇත්තේ අමුතු ම අරුතකි. එනම් “හිස්” යනුයි. හිස් යන අරුත් ඇති “පුහු” යන නාම පදයක් ඇත. එය නාම විශේෂණයක් ලෙස ද යෙදෙයි. “පුහුපොල්”, “පුහු ගෙඩිය” යන තන්හි මෙනි. පුස්ස, පහු, පුස්සෙන්, පුස්සට යන අරුතින් එය නපුංසක ලිංග නාම පදයක් ලෙස වරනැගෙයි. පුහු කොළය, පුස් කොළය වන්නට හැකි ය. එහෙත් එය හිස් යන අරුත ලැබුණේ කිසිවක් නො ලියූ හෙයින් ද, නැතහොත් අපිරිසිදු දෑ ඉවත් කොට පිරිසිදු කරන ලද හෙයින්දැයි ඉඳුරාම කිව නොහැකි ය. මහාචාර්ය ආනන්ද කුලසූරිය එතෙක් පුස්කොළ යන්නේ නිර්වචනය පිළිබඳ ව දිගු විස්තරයක් කළ ද නිගමනයක් නොදක්වයි.

ව්‍යවහාර වර්ෂයෙන් දහනව වැනි ශතකයේ මුල් හරියේ සිංහල-ඉංග‍්‍රීසි ශබ්ද කෝෂයක් සැපයූ බෙන්ජමින් ක්ලිප් දේවගැතිතුමා පුස්කොළ යන්නට අරුත් කියන්නේ “හිස් කොළය” ලිවිමට හෝ උල් කටුවෙන් සීරිමට හෝ පිළියෙළ කොටගන්නා ලද හිස් කොළය යන ලෙසිනි. පුස්කොළ යන්නට අරුත් සපයන අරිසෙන් අහුබුදු මෙසේ පවසයි. “පුස්කොළ (න.ප.) ආදියෙහි පොත් ලිවීමට යෙදුණු තල (ගසේ) පත්යැ පුස්කොළ සැකැසුණේ තල කොළ තම්බා ගැනීමෙනි. මේ තල කොළයෙහි මුලින් බුදුදහම ලියැවුණෙන් එ මැ පත් පුදට (පූජාවට) නිසි වී. පුදට නිසි කොළ > පුද ලද කොළ > පුද කොළ >පුද්කොළ > පුත්කොළ > පුස්කොළයි. ත් හට ස් වීම මේ බසේ සන්ධි නියරකි.”

මෙරට හා විදේශයන්හි පුද්ගලයන් සතු ව ඇත්තා වූ ද, විවිධ ආයතනයන්හි තැම්පත් කොට ඇත්තා වූ ද, සිංහල පුස්කොළ පොත් සංඛ්‍යාව හැත්තෑ පන්දහසක් පමණ බව කිව හැකි ය. මෙයින් සියයට අනූපහක් පමණ දහඅටවන දහනමවන සියවස් තුළ ලියන ලදැයි සිතීමට සෑහෙන සාධක ඇත්තේ ය. ප‍්‍රමාණවත් පුස්කොළ පොත් සංඛ්‍යාවක් විසිවන සියවසේ මුල් භාගයෙහි ලියන ලද බවත් සැලකිය යුතු ය. දහඅටවන සියවසට පෙර ලියන ලද පුස්කොළ පොත් හසු වන්නේ විරල වශයෙනි. ගම්පොල හා කොට්ටේ රාජධානි පැවැති කාලයෙහි ලියන ලද පුස්කොළ පොත් දැනට සොයාගෙන ඇත්තේ සතරක් පමණි. පොළොන්නරු රාජධානිය හෝ අනුරාධපුර රාජධානිය පැවැති යුගවල ලියන ලදැයි සැලකිය හැකි එක ද පුස්කොළ පොතක් මා දන්නා තරමින් තව ම හමු වී නැත.

මහාචාර්ය පී. ඊ. ඊ. ප‍්‍රනාන්දු දක්වන දඹදෙණි රාජධානි සමයෙහි හෙවත් දහතුන්වන සියවසෙහි ලියන ලද දැනට ලක්දිව පැරණිම පුස්කොළ පොත් හතර පහත දැක් වේ.

  • චුල්ලවග්ගය (කොළඹ ජාතික කෞතුකාගාරය)
  • විසුද්ධමග්ග ටීකාව (පේරාදෙණි විශ්වවිද්‍යාලීය පුස්තකාලය)
  • සාරත්ථදීපනි නම් විණය ටීකාව, පළමු කාණ්ඩය (ලන්ඩන් නුවර බි‍්‍රතාන්‍ය කෞතුකාගාර පුස්තකාලය)
  • සාරත්ථදීපනී පිටපත (පැරිස් නුවර ජාතික පුස්තකාලය)

පැරණිකම නිසා ම විශේෂ තැනක් ගන්නා තවත් පුස්කොළ පොත් රාෂියක් ගැන ද සටහන් කිරීම වටනේ ය. ශ‍්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල (වර්තමාන කැලණි විශ්වවිද්‍යාලය) සතු ව ඇති මහාවග්ග පාලියේ පුස්කොළ අත්පිටපත ද 13 වැනි සියවසට අයත් සේ සැලකේ. කොළඹ කෞතුකාගාර පුස්තකාලයේ ඇති සංයුක්ත නිකාය අත්පිටපතෙහි එන අවසාන පාඨය අනුව එය පැපිලියානේ සුනේත‍්‍රාදේවී පිරිවෙනේ විසූ මංගල නම් භික්ෂූන් වහන්සේ නමක් විසින් ක‍්‍රිස්තු වර්ෂ 1412 දී පිටපත් කැරුණු බව පෙනේ. කෞතුකාගාර පුස්තකාලයේ ඇති ක‍්‍රිස්තු වර්ෂ 1521 දි පිටපත් කරන ලද පාළි පරමත්‍ථප්පකාසීනී නමැති පිටපත ධම්මසංගනී නමැති පාළි ග‍්‍රන්ථයෙහි ටීකාවකි. සිංහල පූජාවලියෙහි අත්පිටපතක් ද ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇත. එහි එන අවසාන පාඨය අනුව එය ක‍්‍රිස්තු වර්ෂ 1665 දී පිටපත් කරන ලද්දකි. කෞතුකාගාර පුස්තකාලයේ ඇති තවත් පැරණි පුස්කොළ අත්පිටපතක් නම් සංස්කෘතයෙන් ලියැ වී ඇති බෞද්ධ ශතකයයි. එය ක‍්‍රිස්තු වර්ෂ 1704 දී පිටපත් කරන ලද්දකි.

පුස්කොළ පොත් (මෙම ඡායාරූපය http://www.michaelbackmanltd.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

දකුණු හා අග්නිදිග ආසියාතික රටවල කඩදාසි හඳුන්වා දීමට පෙර ප‍්‍රධාන වශයෙන් ලිවීමට ගන්නා ලද ලේඛන මාධය ලෙස පුස්කොළ බව සඳහන් කළ හැකි ය. ශ‍්‍රී ලංකාවට කඩදාසි භාවිතය හඳුන්වා දුන්නේ ක‍්‍රිස්තු වර්ෂ 16 වන සියවසේ මුල දී මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලා ගත් පෘතුගීසීන් විසිනි. එහෙත් කඩදාසි භාවිත වූ කාලයේ දී ද ලේඛන මාධ්‍යයක් ලෙස පුස්කොළ භාවිත විය. ශතවර්ෂ ගණනක සිට ශ‍්‍රී ලංකාවේ ලේඛන මාධ්‍යය ලෙස පුස්කොළය භාවිත වූ බව පෙනේ. විදේශීය රටවලින් දැනට ලැබී ඇති පැරණි ම පුස්කොළය ක‍්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් වෙයි. එය මධ්‍යම ආසියාවේ තිබී සොයා ගන්නා ලද්දකි. ඉන්දියාවේ ක‍්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසට පෙර ලියූ පුස්කොළ හමු වී නැති අතර, ශ‍්‍රී ලංකාවේ දැනට ලැබී ඇති පැරණි ම පුස්කොළ පොත ක‍්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසට අයත් චුල්ලවග්ගය බවට සාක්‍ෂි ඇත.

පැරණි පොත් පිළිබඳ ව ලංකාවේ විවිධ සාහිත්‍ය මූලාශ‍්‍ර අනුව තොරතුරු හෙළි වෙයි. ඒවායින් වැඩි ප‍්‍රමාණයක් පුස්කොළ මාධ්‍යයෙන් ම ලියන්නට ඇතැයි අදහස් කරමු. එකී පොත් සම්බන්ධ ව තොරතුරු කිහිපයක් මෙසේ ය.

– ධර්මයාගේ චිරස්ථිතිය පිණිස පොත්හි ලියූහ. බුද්ධඝෝෂ හිමි මහාවිහාරයට පැමිණ, අටුවා කරන්නට මට සියළු පොත් දෙව’යි කීහ.
– ධාතුසේන තරුණ තෙමේ වනපොත් කිරීමේදී වර්ෂාවක් වැටුණි. එහිදී පොත හා කුමරු නාගයකු විසින් නොතෙමා රකින ලදී.
– කසුබ් රජතෙමේ විජම්පෙළ රන්පත ලියවා දම් සඟුන පොත නන් රුවනින් හොබනා කොට නුවර මැද උතුම් ගෙයක් කරවා ඒ පොත එහි තබ්බවා පෙරහැර දෙවී (මෙහි මාධ්‍යය පුස්කොළ නොවේ.)
– මාඝගේ ආක‍්‍රමණයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රශස්ත වූ බොහෝ පොත් ලනුවෙන් මුදා ඒ ඒ තැන විසිරවූහ. විජයබාහු ලංකාද්වීපයෙහි සධර්ම සංයුත්ත වූ බොහෝ පොත් පරසතුරන් විසින් නසන ලදැයි සංවේග ප‍්‍රාප්ත ව ධාරණ ඥානයෙන් සමන්විත ව සැදැහැත්තා වූ බහුශ‍්‍රැත වූ කුසීත බැව් නැත්තා වූ මනොඥ වූ ලෙස වහා ලියුම්හි දක්ෂ උපාසකයන් ද එයින් අන්‍ය වූත් බොහෝ පොත් ලියන්නන් එකතන්හි රැස්කරවා මිහිපති තෙමේ ඒ සියල්ලන් ලවා ආදර සහිත ව සුවාසු දහසක් ධර්මස්කන්ධයන් මනාකොට ලියවී ය.
– ලීයුවන්ට ධර්මස්කන්ධ ගණනින් ඔවුන්ට රන් කහවණු දී බුවනෙකබාහු ධර්ම පුස්තකයන් ලියන්නා වූ නුවණැත්තනට බොහෝ වස්තුව දී සියලූ ම ත‍්‍රිපිටකය ලියවන්නන් ලංකාද්වීපයෙහි ඒ ඒ ප‍්‍රදේශයෙහි විහාරයෙහි තබ්බවා
– පැරකුබා රජු ජාතකයන් පාලියෙන් සිංහල භාෂාවට පෙරලා ලියවා පිරිසිදු කොට ලක්දිව සැමතැන පැවැත්වූයේ
– පැරකුම්බාවන් දවසෙහි “දාඨා ධාතුචරිතා” නම් වූ ග‍්‍රන්ථයක් ස්වබුද්ධින් සිංහල භාෂාවෙන් තනා ඒ ග‍්‍රන්ථානුසාරයෙන් …. විජයබා රජු සමයෙහි අටුවා හා ටිකා සහිත උතුම් පිටකත‍්‍රය පාලිය ද ලියවා සර්වඥයන් වහන්සේගේ සාසනයට සංග‍්‍රහ කළේ ය.
– දෙවැනි රාජසිංහ රජු ශිව භක්තියට ඇලී සංඝයා මරමින් ධර්ම පුස්තක දවන්නේ ….
– වීරපරාක‍්‍රම රජු තිස් දහසක් පත‍්‍රයන් හි පොත් ලියවා හැටදහසක් පමණ ධනයෙන් ත‍්‍රිපිටකය පිදුවේ ය.
– රාජසිංහ රජු ශිව භක්තිය ගෙන බුද්ධශාසනය නසන්නේ භික්‍ෂු සංඝයා ද මරමින් පුස්තක දවන්නේ
– නරේන්ද්‍රසිංහ රජු දානාදි බොහෝ කුසල් දිනක් දිනක් පාසා කරන්නේ පුස්තකයන් ද ලියවා ශ‍්‍රී වික‍්‍රමරාජසංහ රජු නවදහස් සසියක් මිල ශ‍්‍රද්ධාවෙන් විසදා උතුම් රන් පොතක් කරවා ඒ රන් පොත්හි උතුම් දම්සක් ආදී බොහෝ සූත‍්‍රයන් ලියවා තෙමේ ධර්මකථිකයින් ලවා මුළු රැය කියවා නොයෙක් වස්තුවෙන් පුදා නොයෙක් වර උතුම් ධර්මය ඇසී ය. නරශ්‍රේෂ්ඨ තෙමේ ලියන්නන් රැුස් කරවා එකදවස්හිම දික්සඟිය ලියවා බොහෝ සංග‍්‍රහ කොට එයින් මුල් රැය මොනවට සදහම් කියවා මහපුද පවත්වා තෙමේත් අසා අනුන්ට ද ඇස්ස වී.

පොත් පූජා කිරීමේ කටයුත්ත ආනිසංස ගෙන දෙන්නා වූ පින්කමක් බව කලක සිට පිළිගෙන ඇති කි‍්‍රයාවකි. ලංකාවේ විහාරස්ථාන සතු ව ඇති බොහෝ පුස්කොළ පොත් උපාසකඋපාසිකාවන් විසින් පුදනු ලැබ ඇති ඒවා බවට සාධක ඇත. විශේෂයෙන් ම ජාතක පොත් වහන්සේ, ධම්මචක්ක සූත‍්‍රය හා සතිපට්ඨාන සූත‍්‍රය මේ අතරින් මූලික වේ. වැඩි ම ප‍්‍රතිශතය වාර්තා වන්නේ සතිපට්ඨාන සූත‍්‍ර ග‍්‍රන්ථයයි. මහනුවර ශ‍්‍රී දළදා මැදුරේ පුස්තකාලය සතු පුස්කොළ පොත් අතරින් වැඩි ම ප‍්‍රමාණයක් සතිපට්ඨාන පොත් බව පෙනේ. පොත් පමණක් නො ව පොත් ආශ‍්‍රිත සෙසු උපාංග ද පූජාකිරීමේ අනුසස් පුරාණ කඨිනානිසංසයේ සඳහන් වේ. “පොත්ගෙඩි, පොත්ලණු, පොත්සකි, පොත්පයි, පොත්පෙට්ටි, පොත්කැති, පොත් කමිල, දණ්ඩාසන, බණවසුන්, පිටාටුපෝරු, පරමදාන, දෙබලකටු, පන්සිත්, පන්සිත්කොපු…” ආදි වශයෙනි. එබදු පසුබිමක් ඇති ලංකාවේ පුස්කොළ පොත් සැලකිය යුතු ප‍්‍රමාණයක් වර්තමාන විහාරස්ථාන සතු ව ඇත්තේ ය. ඇතැම් විහාරයක් වෙනුවෙන් නාමය යෙදී ඇත්තේ ද පොත්ගුල් විහාරය වශයෙනි. මෙයින් හඟුරන්කෙත පොත්ගුල් විහාරය එකක් පමණි. එහි සැලකිය යුතු ප‍්‍රමාණයක පුස්කොළ පොත් තැන්පත් ව ඇත. ලංකාවේ මධ්‍යම පලාත, වයඹ පළාත සහ දකුණු පළාතේ විහාරස්ථාන රැසක පුස්කොළ පොත් ඇතයි කිය වේ. ඇතැම් තැනෙක පැරණි පොත් ක‍්‍රමක‍්‍රමයෙන් විනාශයට පත්වීමත් එකී එකතු තුළින් අතුරුදහන් වීමත් සිදුවෙමින් පවති. සොරසතුරන් විසින් පුරාවස්තු හැටියට විකුණනු ලබන අවස්ථාවල දි කලාතුරකින් එයින් කීපයක් හසු වූ තැන් ද ඇත මේ එක් නිදසුනකි.

මෙම ගුවන් තොටුපළේදි අත් අඩංගුවට ගෙන තියෙනවා, පුස්කොළ පොත්වල කොටස්. ඒවායේ කෑල්ලක් මෙහේ. අනෙක් කොටස ජර්මනියේ. අන්තිමට ඒවා කාටවත් නෑ.”

පුස්කොළ පොත් කොල්ලකෑමක් ගැන ඇසින් දුටු සාක්ෂිියක් මෙසේ ය.

“ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය පන්සාලිස් වන වර්ෂයෙහි නවන් මාසයේදී ඉංග‍්‍රිසි ගොල්ල නුවර ආදා පෝය ගෙයි පිළිත් සමග අඩු වැඩිය දේ ඇරගෙන පොත්පයිත් පොත්ලෙන්සුත් හොරු අරගෙන ගියදා මේ පොත් වහන්සේ කෙරෙහි ගෞරවයෙනුත් ශාසනයට උපකාර පිණිස රඹුකන සොභිත උන්නාන්සේ වන මා විසින් ඇරගෙන හන්තානේ කැලේ හරහා පරවෙස්සන් කරගෙන ආවා ය. මේ පොත බලා වදාරණ කෙනෙක් මට පින් දෙනවා හොදයි ….” යනුයි.

පුස්කොළ පොත් එකතු ගැන මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න මෙසේ කිියා තිබේ.

“… අමුද්‍රිත පාළි, සිංහල, සංස්කෘත පොතපත ප‍්‍රකාශයට පත්කළ යුතු ය. දැනට පොත් ගුල්වල හා විහාරස්ථානවල තල්පත්වලට සීමා වී ඇති සියලූ අමුද්‍රිත, සිංහල, පාලි, සංස්කෘත පොතපත නො පමා ව ප‍්‍රකාශයට පත්කරවීමට විධිමත් පියවර ගැනීම පිණිස භික්ෂුව ඉදිරිපත් විය යුතුයි. මම ගියා දවසක් දළදා මාළිගාවට, පත්තිරිප්පුවේ පොත්පත් වැස්සට තෙමෙනවා, අව්වට වේළෙනවා. ඒවායේ බහුල වශයෙන් හිටියේ කාවෝ…. මම හොදට දන්නවා අහුමුලුවල මේවා තියෙන තැන් ඔක්කොම දියබත් වේගෙන යනවා. වටිනා පොත්පත්, පත්තිරිප්පුව ඇතුලේ පොත්පත් ටික දියබත් වෙනවා. අන්න හුඟක් තියෙනවා අස්ගිරියේ.

මෙය කලකට පෙර එතුමා දුටු දෙයකි. නමුත් මේ තත්වය දැන් වෙනස් වී ඇත. හොඳින් ආරක්ෂා වී තිබේ. පසුගිය සමයේ දළදා මාළිගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් මේ පොත් එකතුවට ද බරපතල හානි සිද්ධ විය. පිළිස්සීමකට ලක් නො වූයෙන් විසිර ගිය පොත් කැඞී බිදී ගිය පොත් නැවත සකසා තබන්නට එවකට සිටි දියවඩන නිළමේවර නෙරන්ජන් විජේරත්න සහ මහනුවර රාජ්‍ය ලේඛනාගාරයේ අදාළ කාර්යය මණ්ඩලය කදිම උත්සාහයක යෙදී ඇත. එම උත්සාහය සාර්ථක බව කිව මනා ය.

පොදු වශයෙන් සලකන විට ලංකාවේ පුස්කොළ පොත් එකතු විවිධ තැන්හී ස්ථානගත ව ඇත. විහාරස්ථානවලට අතිරේක ව කොළඹ ජාතික කෞතුකාගාරය, පේරාදෙණි විශ්්වවිද්‍යාලය යන දෙකෙහි වැඩි ම පුස්කොළ පොත් එකතූන් ඇතිි බව කියැ වේ. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇති පුස්කොළ පොත් එකතුව ක‍්‍රිස්තු වර්ෂ 1870 සමයේ සිට ආරම්භ ව ඇත. එම එකතුව සඳහා දිවයිනේ විවිධ පළාත් වලින් එතෙක් පැවැති පිටපත් හා අලුතින් ලියන ලද පිටපත් රැසක් අන්තර්ගත වේ. දැනට වසර සියය ඉක්මවා ඇති එකී පිටපත් සියල්ල ඓතිහාසික ග‍්‍රන්ථවිද්‍යාව අතිනුත්, කෞතුක වටිනාකම අතිනුත් ඉහළ අගයක් ගනි. මේ පිළිබඳ ව ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් සකසන ලද නාමාවලිය ප‍්‍රථම භාගයේ ග‍්‍රන්ථ 2,362ක් සඳහා කිිසියම් ප‍්‍රාමාණික විස්තර ඇත. පිටපත් ලබාගැනීම පිළිබඳ ඇති විස්තර අනුව එ සමයෙහි යම්යම් කරුණු දැනගැනීමට ඉඩ තිබේ. විශේෂයෙන් ම මුල් පිටපත් අයිතිකරුවන් හා පිටපත් කළ ලේඛකයින් මෙන් ම එකී ස්ථාන ද දැන ගැනීමට අවස්ථාව ලැබේ. නිදසුන් කීපයක් මෙසේ දක්වමු.

“…ගෞරවණීය එච්.සී.පී. බැල් මන්තී‍්‍රතුමාගේ සිංහල ලිපිකරුවෙකු වූ සාමියෙල් කීර්තිරත්න ගුරුන්නාන්සේ වන මා විසින් කි‍්‍රිස්තු වර්ෂ 1894ක් වූ අපේ‍්‍රල් මස4වන දින ලියා නිමකරන ලදී. අනුරාධපුරයේදී ය. හිඹුටුගොල්ලෑවේ පොතේ පිටපතයි.
“වතුරේ ධම්මරතන උන්නාන්සේ විසිිින් ලියවාපු සංයුත් සභිය….”
“තරාණතොල්ලාගම උපාසකදුරයා ලියවාපු දම්පියාවේ ගාථා පොත් වහන්සේ නිමි”
“මිරිස්සේ පදිංචි අප්පුහැන්නැදිගෙයි බබන් නොහොත් අන්ද්‍රියස් විසින් ලංකාවේ රජ්ජුරුවන් වහන්සේගේ පොත්ගුලට බාර දෙනන්නට යෙදුනා ඇත.”
“සක වර්ෂ එක්වාදහස් සත්සිය අසු තුනට ලත් සතරවරනි කකුලූ භානු සසම්ප‍්‍රාප්ත පසලොසිවැනි රිවි දින දෙබල්ගල විහාරේ විහර්ණ කරණ කපිරිග්ගම චන්ද්‍රජෝති භික්ෂුහූ විසින් නිර්වාණසම්පදාව නිසා පත්තිරු තිස්හයක රුවන් සුත‍්‍ර අර්ථ හා පද ඇණුමම ලියා ස්ථාපිත කළය….”

එකී පිටපත් තුළින් ද සම කාලීන භාෂා ව්‍යවහාරය ආදී විස්තර ද එලෙසින් පෙන්නුම් කෙරේ.

වර්තමාන ජාතික කෞතුකාගාර පුස්තකාලය ආරම්භයේ දී කොළඹ රජයේ පෙරදිග පුස්තකාලයෙහි මේ සඳහා පුස්කොළ පොත් සෙවීම පිණිස යටත් විජිත ලේකම් වරයාගේ පත්වීම අවසරය මත කටයුතු කර ඇත්තේ ලුවී ද සොයිසා මුදලිවරයා ය. ඔහු ගමින්ගමට දුෂ්කර සේ ගමන්කර දුර්ලභ ගනයේ පොත් ද සොයා ගෙන ඇත. මෙතුමාගේ අතිශය දුෂ්කර කටයුත්තේ දී මුහුණදීමට සිදු වී ඇති තත්ත්වයන් විවිධ ය. ඉන් කීපයක් මෙසේ ය.

“මුල්කිරිගල පන්සල කලකට පෙර ග‍්‍රන්ථවලට විශාල ප‍්‍රසිද්ධියක් දැරුවත් පන්සල් වලට මගේ ගමන නිරර්ථක වූයේ නැත. මා මෙතෙක් සොයා ගත් ග‍්‍රන්ථ වලින් වැදගත් ම කෘතිය මෙහි තිබිණි. එය නම් මොග්ගල්ලායන පාලි ව්‍යාකරණයට ලියු සිංහල සන්නයයි. එය මා විසින් අවසර ඇති ව ඉල්ලා ගෙනවිත්, ශ‍්‍රී පාදස්ථානයේ හික්කඩුවේ සුමංගල නාහිමියන්ට සහ බටුවන්තුඩාවේ පඬිතුමන්ට පෙන්වූයෙමි. ඒ දෙපල ම එවැනි පොතක් ඇතිබව නොදැන සිටියහ. එහි දිනයක් නැත’ කර්තෘ අඥතයි. එසේ වුවත් එය 15 වැනි සියවසට පෙර ලියන ලද්දක් විය යුතුයි.”

මෙයට හාත්පසින් ම විරුද්ධ තවත් එතුමාගේ සඳහනක්:

“23වැනි දින ගඩලාදෙණි විහාරයට ගියෙමි. එය වැලිවිට හාමුදුරුවන්ගේ පොත් තබා ඇති විශාල ම පොත්ගුල යැයි කියති. එහෙත් එහි සිටියේ ද අර මල්වත්තේදි හමු වූ වැලිවිට භික්‍ෂුව ම බැවින් මට දුන්නේ පොත් 34ක් පමණි. ඒවා හැම තැන ම දකින්නට ඇති පොත් ය. 24දින මම ලංකාතිලක පංසලට ගියෙමි. එහි අධිපති අමුණුගම හාමුදුරුවෝ පොත් කිහිපයක් පමණක් මට පෙන්වූහ. වෙනත් කෘති නැතැයි කීහ. එහෙත් එතන ද විශාල පොත්ගුලක් ඇතැයි මට කීහ. එදින සවස අඟුණාවල පංසලට ගියත් එහි දුර්ලභ පොත් තිබුණේ නැත. 6වැනි දා මම මහනුවරදී ආණ්ඩුකාරතුමා සහ ඔබතුමා හමුවීමට සිටියේ මල්වත්තේ, ගඩලාදෙණියේ හා ලංකාතිලකයේ පන්සල්වල හාමුදුරුවරු පොත් මට නොපෙන් වූ බව දන්වා සිටිමටයි.

ලූවී ද සොයිසා තම වාර්තාවේ මෙසේ ද සඳහන් කරයි.

“27 මම හාරිස්පත්තුවේ පන්සල් බලන්නට ගියෙමි. 28 කටාරංගල පන්සලට ද ගියෙමි. එහි පැරණි සංස්කෘත ග‍්‍රන්ථ ඇතැයි කී නමුත් මට හමු වූයේ අමරකෝෂය සිංහල අකුරින් ලියා සන්නයක් සහ වෙස්සන්තර හා විධුර ජාතක සන්නයත් පමණි. ඒවා පිටපත් කරගන්නටයයි නාහිමියන් මට භාර දුන්හ. 29වන දා මැදවල පන්සලට ගිය අවස්ථාවෙහි හාමුදුරුවන් කීවේ එහි තිබුණ විශාල පොත්ගුල බි‍්‍රතාන්‍ය හමුදාව විසින් 1817දී මුළුමනින් ම විනාශ කළ බවයි.

පාදක සටහන් හා අන්ත ලිපි

  • ආනන්ද කුලසූරිය (1996), පුස්කොළ පොත් හා ලේඛන කලාව, සංස්කෘතික පුරාණය, 2වන වෙළුම, 1 කලාපය, සංස්. ටි. ජී. කුලතුංග, කොළඹ, මධ්‍යම සංස්කෘතික අරමුදල.
  • අරිසෙන් අහුබුදු (2000) අරුත නිරුත, කොළඹ, සදීපා.
  • පී. ඊ. ඊ. ප‍්‍රනාන්දු (1997) පැරණිම සිංහල පුස්කොළ පොත්, පුරා විද්‍යා, සංස්. සිරිසමන් විජේතුංග, කොළඹ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • සී. එම්. ඔස්ටීන් ද සිල්වා (1969), පැරණි ලංකාවේ ග‍්‍රන්ථ නිෂ්පාදනය, අධ්‍යාපන සියවස ප‍්‍රකාශනය 1, කොළඹ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
  • කේ. ඩි. විමලරත්න (1989) පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය හා ප‍්‍රතිසංස්කරණය, කොළඹ, ජාතික කෞතුකාගාරය.
  • ඌණපූරණසහිතො මහාවංසො (1959) සංස්. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, කොළඹ, ගුණසේන පොත් සමාගම.
  • සිංහල මහාවංසය (1963) ද්විතීය භාගය, සංස්. සුමංගල හිමි සහ බටුවන්තුඩාවෙි ප`ඩිතුමන්, කොළඹ, රත්නාකර.
  • ශ‍්‍රී දළදා මාළිගාවේ පුස්තකාලයීය පොත් නාම ලේඛනය, මහනුවර, රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව. (අමුද්‍රිත)
  • කඨිනානිංසස විස්තර සහිත කඨින වංශය (1994) ශ‍්‍රී පඤ්ඤාසාර හිමි, කොළඹ, සත්වැනි මුද්‍රණය, කොළඹ, ගුණසේන.
  • සමන්ත ගුණසේකර (2005) සිංහල බෞද්ධයා. 2005 පෙබරවාරි
  • ඩබ්. එස්. කරුණාරත්න (1996) භික්ෂුවගේ උරුමය හා කාර්යයභාරය, දෙහිවල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • තිස්ස කාරියවසම් (1994) නූතන ලංකාවේ පැරණිතම පුස්තකාලයක වර්ධනය, විමල් අභයසුන්දර සම්ප‍්‍රදානය, සංස්. අමර හේවා මද්දුම සහ තවත් අය, කොළඹ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
  • W.a. De Silva (1938) Cataloghe of Ola Manuscripts in the Library fo the Colombo Museum,vol.1, Colombo, Ceylon Government press.

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ උතුරු මුහුදේ නවමු පර්යේෂණ 2013 – දෙවන කොටස

ඒ.එම්. ඒ දයානන්ද හා මහින්ද කරුණාරත්න

 

මුහුදු පුරාවිද්‍යා ඒකකය,මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, කොටුව, ගාල්ල.

(මෙම ලිපියේ සෝදුපත් බැලු ලක්ෂ්මී විජයරත්න මහත්මියට විශේෂ ස්තුතිය)

2013 අගෝස්තු මස 4 වෙනි දින උදය වරුවේ MAU කණ්ඩායම ගවේෂණය සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය ඒකරාශි කරගැනීම සිදු කළේය. ගමන සඳහා වාහන 2ක් යොදාගත්තේය. එම වාහන සඳහා අපගේ සියලූම බඩු බාහිරාදිය ඇසුරුම් කිරීමෙන් අනතුරුව සවස 4ට පමණ ආයතනයෙන් පිටත්විය. එහිදී ගාල්ල සිට අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ දක්වා ද එහි සිට මහනුවර මාර්ගයේ ගමන් කොට කුරුණෑගල මාර්ගයට පැමිණ ඒ ඔස්සේ දඹුල්ල දක්වා ද එහි සිට සීගිරිය දක්වා ද ගමන් කරන ලදි.

අප සීගිරිය වෙත ළගා වනවිට රාත‍්‍රී 12.30 පමණ විය. සීගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකාර චන්දන වීරසිංහ මහතා හමුවීමෙන් පසුව සීගිරිය අප්සරාවේ නවාතැන් ගැනීම සිදුකරන ලදි. පසු දින උදෑසන පෙරවරු 6.30ට පමණ සීගිරි ව්‍යාපෘතියට පැමිණ සීගිරිය කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව, චන්දන වීරසිංහ මහතා හමුවී ස්තූති කොට පෙරවරු 8.40 ට පමණ සීගිරියෙන් පිටත්විය.

සීගිරිය අප්සරාව නවාතැන්පල

පිදුරංගල මාර්ගයේ හබරණ හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ රිටිගල පිහිටි හෝටලයකින් උදෑසන ආහාරය ලබාගැනිමෙන් අනතුරුව අනුරාධපුර නගරයට ගමන්කරන ලදි. ඉවුම් පිහුම් ඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා බඩුභාණ්ඩ මිළදී ගැනීම හා අප ගමන් කළ එක් වාහනයක් සිරී මොටර් ආයතනයෙන් සුලූ අළුත් වැඩියාවකට ලක්කරන ලදි.

පස්වරු 1.45 ට පමණ අනුරාධපුරයෙන් පිටත්ව A9 මාර්ගයේ පුල්ලියම්කුලම් හන්දිය දක්වා ගමන්කොට එම හන්දියෙන් දකුණට හැරී නඳුන්කර්නි හන්දියට ද, එහි සිට ඔඞ්ඩුසුඩාන් දක්වා ගමන් කොට A34 මාර්ගයේ මුලතිව් නගරයට පැමිණෙන ලදි. ඒ වන විට වේලාව පස්වරු 4.00 පසුවී පැවතිණි.

මුලතිව් නගරයේ පිහිටි තැපැල් කන්තෝරුව ඉදිරිපස පිහිටි ”වසන්තන් ඉන් ” තානායමේ නවාතැන් ගන්නා ලදි.

“වසන්තන් ඉන්”නවාතැන්පොල-මුලතිව්

රැගෙන ආ බඩු බාහිරාධිය බෑමෙන් අනතුරුව රාත‍්‍රී ආහාරය ලබාගත්තේය. කණ්ඩායමේ සියලූම සාමාජිකයින් එක්ව පසුදින සිඳු කිරීමට නියමිත පර්යේෂණ කටයුතු පිළිබඳව සැලසුම්කරන ලදි.

එහිදී ගවේෂණ කටයුතු වලදී කණ්ඩායමේ ආරක්ෂාව පිළිබව සැලකිල්ල යොමුකරමින් කණ්ඩාම සහා කිමිදුම් කටයුතු වලදී වගකිවයුතු ආරක්ෂක නිලධාරියෙකු (Safety Officer) වශයෙන් ඒ. එම්. ඒ දයානන්ද මහතා පත්කරන ලදි.

බෝට්ටු සපයාගැනීම, පර්යේෂණ සම්බන්ධ තොරතුරු දන්නා පුද්ගලයන් සම්බන්ධ කරගැනීම, හා වෙනත් කටයුතු සඳහා රාජකාරි වෙන්කරගැනීම ද සිදුවිය.

ආහාර හා පෝෂණය පිළිබඳව තීරණය ගැනීම සඳහා ඞී. එම් මහින්ද පැමිණෙන තුරු කටයුතු කිරීමට චමිලා කුමාරි පත්කරන ලදි. කිමිදුම් සඳහා අවශ්‍ය සිලින්ඩර පිරවීම චමල් ගමගේ විසින් සිඳු කරන ලදි.

2013 නොවැම්බර් 06 වන අගහරුවාදා
මුලතිව් සීලාවත්ත මුහුදු තීරයේ සිට කිලෝමීටර 4ක් පමණ දියඹ දෙසට වන්නට පිහිටි ස්ථානයක නිතර ධීවරයන්ගේ දැල් පැටලෙන බවත් එම ස්ථානයේ යම්කිසි දෙයක් ඇති බවටත් කිංස්ලි නමැති ධීවරයකුගෙන් තොරතුරු ලැබිණි. ඒ අනුව අප කණ්ඩායම එම ස්ථානයේ කිමිදුම් කටයුතු සිදුකරන ලදි. එම කිමිදුම් සඳහා ඒ. එම්. ඒ දයානන්ද, රසික මුතුකුමාරණ, නන්දදාස සමරවීර යන අය සහභාගි විය. එම ස්ථානයේ ගැඹුර මීටර 18ක් විය.

ඩබ්. කිංස්ලි බර්නාර්ඞ්

මුලතිව් සිලාවත්ත මුහුදු තීරයේ ධීවර ජනතාව අතර සිදුකළ සාකච්ඡාවක්

සිලාවත්ත මුහුදු තීරයේ සාමාන්‍ය ජනතාවගේ ක‍්‍රියාකාරකම්

ගවේෂණ සඳහා පිටත්වීමට සූදානම් වන අවස්ථාවක්

ගවේෂණ සඳහා යාත‍්‍රාව දියත් කළ අවස්ථාවක්

ජලයේ දෘශ්‍යතාව ඉතාම දුර්වල විය. මුහුදු පත්ල ඉතා මඩ සහිත විය. එම ස්ථානය ගවේෂණයෙන් කිසිදු දෙයක් දක්නට නොලැබිණි. ධීවරයන්ගෙන් ලබාගන්නා මෙවැනි තොරතුරු මත ගවේෂණ සිදුකළ ද සාර්ථක වන අවස්ථා ඉතා විරලය.

අපගේ පර්යේෂණයේ ප‍්‍රධාන අරමුණ වන මුලතීව් මුහුදු තීරයේ ගිලී ඇතැයි පැවසෙන එස් එස් ඉන්ඩස් (SS Indus)ලෙස හඳුන්වන නෞකාව සොයාගැනීමේ පර්යේෂණ ආරම්භ කරන ලදි. නාවික සිතියම් අධ්‍යයනයෙන් පසුව එම සිතියම්හී සලකුණු අනුව ලබාගන්නා ලද අක්ෂාංශ හා දේශාංශ ඔස්සේ පර්යේෂණ කිමිදුම් කටයුතු සිදුකරන ලදි.

එහිදී වෘත්තාකාර ලෙස (Circle search) දියයට ගවේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී කුඩා ප‍්‍රමාණයේ තන්ගුස් ලණුවක් (Life line) භාවිතා කළේය.

එම ලණුව අප බෝටිටුව නවතා තැබීම සඳහා භාවිතා කළ නැංගුරමේ යකඩ දම්වැලේ ගැටගසන ලදි. අනතුරුව මාලිමාව භාවිතා කරමින් ලණුව අල්ලාගෙන වෘත්තාකාර හැඩයට මුහුදු පතුළ ගවේෂණය කළේය. එම ක‍්‍රමවේදයට අනුව මීටර 50ක පමණ ප‍්‍රදේශයක වෘත්තාකාරව ගවේෂණය කළ ද කිසිඳු හෝඩුවාවක් නොලැබිණි. ස්ථානයේ දෘශ්‍යතාව මීටර 4ක් පමණ විය. ස්ථානයේ ගැඹුර මීටර 7ක් පමණ වේ. මුහුදේ ස්භාවය කිමිදුම් කිරීම සඳහා ඉතා උචිත විය. සුළං හැමීම නැගෙනහිර දිශාව සිට බස්නාහිර දිශාවට සිදුවිය.

2013 අගෝස්තු 7 වන බදාදා

එස් එස් ඉන්ඩස් නෞකාව පිළිබඳ පර්යේෂණය කිරීම මෙදින ද ප‍්‍රධාන අරමුණ විය. අප කණ්ඩායම පෙරදින පර්යේෂණ සිදුකළ ස්ථානය ආශ‍්‍රිතවම තවදුරටත් ගවේෂණ සිදු කිරීමට තීරණය කළේය. GPS යන්ත‍්‍රයේ ස්ථාන 4ක් මීටර 50 සීමාව දක්වා සලකුණු කරමින් ගවේෂණය කිරීම සඳහා ස්ථානයට ළඟා විය. නමුත් පර්යේෂණ කලාපයේ මුහුදු පතුළ දර්ශනය වන පරිදි ජලයේ දෘෂ්‍යතාව පැවතිණි. ඒ අනුව බෝට්ටුව මත සිට මුහුදු පතුල නිරීක්ෂණය කිරීමට හැකිවූ බැවින් එදිනට නියමිතව පැවති පර්යේෂණ ක‍්‍රමවේදය වෙනස්කරන ලදි. එහිදී පේළියට සිට (Line search) කඹයක් භාවිතා නොකොට මාලිමාව ආධාර කොට ගෙන සතර දිශාව ආවරණය වන පරිදි ස්නෝක්ලින් කරමින් ගවේෂණය කරන ලදි.

නමුත් අපගේ පර්යේෂණයෙන් කිසිදු දියයට අනාවරණයක් කරගැනීමට නොහැකිවිය. පර්යේෂණය සඳහා නන්දදාස සමරවීර, ඒ. එම්. ඒ දයානන්ද, රුක්ෂාන් ප‍්‍රියන්දන, චමල් කේ. ගමගේ, මහින්ද කරුණාරත්න සහභාගිවිය.

ඉන්ඩස් පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයකු සොයාගැනීම අරමුණින් එදින හවස් වරුවේදී කණ්ඩායමේ කිහිප දෙනෙකු ප‍්‍රදේශයේ ධීවර සමිතියේ සභාපති වන ජෙනිෆර් නමැත්තා හමුවීම සඳහා ගිය ද ඔහු හමුවූයේ නැත.

රුක්ෂාන් ප‍්‍රියන්දන විසින් පුත්තලම සින්නපාඩුව ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකු වන ජයරත්න යන පුද්ගලයකුගන් ලද තොරතුරු මත මුලතිව් ආශ‍්‍රිත ගිලී ඇති නෞකාවක් පිළිබඳ තොරතුරු දන්නා ගේ‍්‍රෂන් නමැත්තා කෝකිලායි ප‍්‍රදේශයට ගොස් හමුවීම සිදුවිය. ඔහුගෙන් මුලතිව් ආශ‍්‍රිතව ගිලීගිය නෞකාවක් පිහිටි ස්ථානයේ ඨඡුී අගයන් ලබාගැනීමට හැකිවීම වැදගත් අවස්ථාවක් ලෙසින් හැදින්විය හැකි වේ.

ගේ‍්‍රෂන්

2013 අගෝස්තු මස 8වන බ‍්‍රහස්පතින්දා
පෙර දිනයේදී ලබාගත් GPS අගයන් ඔස්සේ අද දින ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදි. ගවේෂණය සඳහා නන්දදාස සමරවීර, රසික මුතුකුමාරණ, නදීකා කුමාරි, සමීර ප‍්‍රසංග සහභාගි විය. ස්ථානය ආශ‍්‍රිත ගවේෂණයෙදී ගිලීගිය නෞකාවක් සම්බන්ධ සාධක අනාවරණය කර ගැනීමට හැකියාව උදාවිය. එම නෞකාව මුලතිව් නැව (Mullative wreck)ලෙස නම් කරණ ලදි. සවස් වරුවේදී එම ස්ථානයේම දෙවන ගවේෂණය කිරීම සඳහා කටයුතු යොදන ලදී. එම ගවේෂණයේදී නන්දදාස සමරවීර, ඒ. එම්. ඒ. දයානන්ද සහභාගි විය. එහිදී නැවේ හැඩය හා පැතිරී පවතින ආකාරය ගවේෂණය කළේය. නෞකාවේ ඉදිරිපස කොටස උතුරු දිශාවට ස්ථානගතව ඇති බව මාලිමාව ආශ‍්‍රයෙන් අනාවරණය කරගැනීමට හැකියාව උදාවිය. දකුණු දිශාවෙන් බොයිලේරු 2ක් සොයාගැනීමට හැකිවිය. නෞකාවේ දැනට ශේෂව ඇති අවශේෂ අනුව දිග මීටර 42ක් වේ. එහි පළල මීටර 10.60 කි. එක් බොයිලේරුවක විශ්කම්භය මීටර 2ක් හා අනෙක් බොයිලේරුවේ විශ්කම්භය මීටර 3.35කි.

නෞකාව මුහුදු පත්ලේ වැතිර ඇති ආකාරය දැක්වෙන දළ සටහන

නෞකාවක භාවිතා වන බොයිලේරුවක්

නෞකාවේ අවර පෙත්ත හා අවර දණ්ඩ සොයාගැනීමට නොහැකිවිය. නෞකාවේ සමහර කොටස් වැලි මඟින් වැසී ඇති බව පෙනේ. එහි ඉදිරිපස කොටසේ විශාල වශයෙන් මාළු දැල් පැටලී ඇත. එය ගවේෂණයේදී මහත් බාධාවක් ඇති කළේය. නැවෙහි බඳ කොටස් (Hull) කපා ඉවත්කොට ඇති බව පෙනේ. ධීවර ජනයාගෙන් ලද තොරතුරු මත නෞකාවේ මෙවැනි කොටස් LTTE යුද සමයේදී කපා ඉවත්කකොට ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සඳහා යොදාගත් බව ප‍්‍රකාශ කළේය. ගවේෂණයේදී කුඩා පරිමාණයේ ලෝහමය උපකරණ සාම්පල 2ක් වැඩිදුර පර්යේෂණය සඳහා එකතුකරගන්නා ලදි. එම පුරාවස්තු SL/N/Mulle/25 (copper ring with concreation? ), SL/N/Mulle/26 (Copper nail?)ලෙස ලියාපදිංචි කරන ලදි.

SL/N/M/Mulle/25 (copper ring with concretion?)

 

SL/N/M/Mulle/26 (Copper nail?)

අප ගවේෂණයේ ප‍්‍රධාන අරමුණක් වූයේ බි‍්‍රතාන්‍ය යුගයේදී මුලතිව් මුහුද ආශ‍්‍රිතව ගිලීගිය එස්.එස් ඉන්ඩස් නමැති නෞකාව (SS Indus) පිළිබඳව තොරතුරු සොයා බැලීමය. පරිහරණය කරන ලද මූලාශ‍්‍ර තොරතුරු හා නාවික සිතියම් අනුව අනාවරණය කොටගත් නෞකාව ඉන්ඩස් නෞකාව වීමට ඇති ඉඩකඩ බොහෝය.

SS Indus නෞකාවේ ඡායාරූපයක්

1885 වර්ෂයේදී මෙම නෞකාව භාරුත් ගල් කැටයම් හා වෙනත් භාණ්ඩ විශාල විශාල ප‍්‍රමාණයක් සහිතව ඉන්දියාවේ මැඞ්ඩ‍්‍රාස් නගරයේ සිට ශ‍්‍රී ලංකාව හරහා එංගලන්තය වෙතට ගමන් කරමින් තිබියදී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර මුලතීව් මුහුදු ආශ‍්‍රිතව ගිලීගොස් ඇති බව වාර්තා වේ.

2013 අගෝස්තු මස 9වන සිකරාදා
අද දින ගවේෂණ කටයුතු මුලතිව් නෞකාව ආශ‍්‍රිතව වැඩිදුරටත් සිදුකරන ලදි. එහිදී නන්දදාස සමරවීර, රසික මුතුකුමාරණ, මහින්ද කරුණාරත්න, රුක්ෂාන් ප‍්‍රියන්දන, ඉන්දික උපුල් හේවගේ සහභාගිවිය. නෞකාවේ මිනුම් ලබාගැනීම හා කටු සටහනක් පිළියෙළ කිරීම සිදුකරන ලදි. මුහුද ඉතා රළු ස්භාවයක් දක්නට ලැබිණී. ජලයේ දෘෂ්‍යතාව ඉතා අවම විය. නෞකාවේ බොයිලේරු ආශ‍්‍රිත කලාපයේ තවත් ලෝහමය කොටසක් හමුවූ අතර එම ප‍්‍රදේශයේ අධික ලෙස මාළු දැල් පැටලී ඇත.

එදින සවස් කාලයේදී ෆාරා – 3 නෞකාව ආශ‍්‍රිත කලාපයේ ගිලී ගිය යාත‍්‍රාවක් පිළිබඳව ලබාගත් තොරතුරු මත ගවේෂණ ආරම්භකරන ලදි.

ෆාරා – 3 නෞකාව

ස්ථානයේ වෘත්තාකාර කිමිදුම් කටයුතු සිදුකිරීමෙන් පසුව යාත‍්‍රාවක් පිළිබඳව සාධක අනාවරණය විය. එම යාත‍්‍රාවේ අවශේෂ තැන තැන විසිරී ඇත. කුඩා කොටස්වලට කැඞී බිදී ඇත. එම සාධක මත යාත‍්‍රාව යම් පිපිරීමකට ලක්ව ඇති බව පෙනේ. වැඩිදුර ගවේෂණයේදී මෙම යාත‍්‍රාව නාවික හමුදාවට අයත් පසුගිය යුධ සමයේ භාවිතාකරන ලද ඩෝරා වර්ගයේ යාත‍්‍රාවක් බව පැහැදිලි විය.

එදින රාත‍්‍රීයේදී ධීවර ජනතාව වෙත වීඩියෝ දර්ශනයක් ප‍්‍රදර්ශනය කරන ලදි. අප ආයතනයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම ක‍්‍රියාවේ ප‍්‍රධාන අරමුණ විය.

2013 අගෝස්තු මස 10වන සෙනසුරාදා
අද දින මුහුදේ පැවති අයහපත් ස්වභාවය මත ගවේෂණ කටයුතු අත්හිටුවන ලදි. නමුත් මුලතිව් ආශ‍්‍රිත කලාපයේ පවතින පුරාවස්තු හා වෙනත් ස්ථාන පිළිබඳව සොයා බැලීම සිදුකරන ලදි. පැරණි ප‍්‍රදීපාගාරය හා තානායම පැවති ස්ථාන ගවේෂණය උදාහරණ ලෙසින් දැක්විය හැකිවේ. මෙම ස්ථානයන්ගේ අත්තිවාරම් පමණක් අද වනවිට නගරයේ දක්නට ලැබේ. නමුත් ඉහත විස්තර කරන ලද මුහුදු බත්වූ ඉන්ඩස් නෞකාවේ පිරිස නවාතැන් ගැනීම සඳහා මෙම තානායම භාවිතා කොට ඇති බව එකළ පුවත්පත් ආශ‍්‍රිතව වාර්තා වී ඇත.

මුලතිව් පැරණි ප‍්‍රදීපාගාරය පිහිටි ස්ථානයේ පාදම පමණක් ඉතිරිව ඇති ආකාරය

අද දින මුලතිව් ආශ‍්‍රිත පැවති මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කටයුතු අවසන් කරන ලද අතර හෙට දිනයේදී යාපනය නගරය ආශ‍්‍රිතව නවාතැන් ගැනීමට තීරණය කොට ඇත. එයට අදාලව කිමිදුම් හා වෙනත් භාණ්ඩ සූදානම්කිරීම හවස් වරුවේදී සිදුකරන ලදි.

බඩු භාණ්ඩ වාහනයට පටවන අවස්ථාවක්

යාපනය හා අවට නවමු මුහුදු පුරාවිද්‍යා අනාවරණ පිළිබඳව මීළග ලිපියෙන් බලාපාරොත්තු වන්න.

ආශ්‍රිත මුලාශ්‍ර
Clarke, Arthur C. The Reefs of Taprobane: Underwater Adventures Around Ceylon. New York: Harper & Brothers, 1957.

—. The Tresure of the Great Reef: Fully Illustrated in Color and Black and White. New York: Ballantine, 1974.

Clerk, Arthur C, and Mike Wilson. The Treasure of the Great Reef. New York: Harper & Row, 1964.

http://www.google.lk/imgres?imgurl=http://s3.amazonaws.com/magnoliasoft.imageweb/nmm/supersize/h3802.jpg&imgrefurl=http://prints.rmg.co.uk/art/510129/The_PO_liner_SS_Indus_1871_in_1882&h=612&w=800&sz=41&tbnid=9zKtNkntezhp0M:&tbnh=91&tbnw=119&zoom=1&usg=__msxdHLGM4znlwRWgxUFI7zteEk8=&docid=NJVrCkjnbO16lM&sa=X&ei=fcs3UqrSG87HrQe9-IDYAg&ved=0CC8Q9QEwAQ&dur=372

http://www.google.com/earth/index.html

“සමුද්‍රිකා” මුහුදු පුරාවිද්‍යා සමුඵව හා ප‍්‍රදර්ශනය – 2013 මාර්තු 20 – සාරාංශ පත‍්‍රි‍්‍රකා

2013 මාර්තු 20 දින මුහුදු පුරාවිද්‍යා ඒකකය හා මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරය ගාල්ල ව්‍යාපෘතියල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංවිධානය කළ “සමුද්‍රිකා” මුහුදු පුරාවිද්‍යා සමුඵවේ සාරාංශ පත‍්‍රි‍්‍රකා මෙම ලිපියේ PDF ගොනුවක් ලෙස පහත අමුණා ඇත.

සාරාංශ පත්‍රිකා ගොනුව – Samudrika Maritime Archaeology Symposium_2013_Abstracts

 

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ උතුරු මුහුදේ නවමු පර්යේෂණ -2013 – පළමු කොටස

ඒ.එම්.ඒ දයානන්ද හා මහින්ද කරැණාරත්න

මුහුදු පුරාවිද්‍යා ඒකකය,
මධ්‍යම සංස්කෘතික අරමුදල,
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය,
කොටුව, ගාල්ල

හැදින්වීම
සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යංශය යටතේ පරිපාලනයට ලක්වන මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ 2013 අනුමත ඇස්තමේන්තුවට අනුව ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරළතීරයේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය විය. තිස්වසරක් පුරාවට ශ‍්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය මත උතුරු හා නැගෙනහිර ආශ‍්‍රිත ගොඩබිම හෝ දියයට පුරාවස්තු ගවේශණය කිරීමේ හැකියාවක් පැවතියේ නැත. 2009 වර්ෂයේදී යුද්ධය අවසන් වීමත් සම`ග උතුරු හා නැගෙනහිර දියයට පුරාවිද්‍යා ගවේෂණයන් කෙරෙහි අවධාවයට ලක්කිරීම ස`දහා අවකාශය හිමිවිය. ඒ අනුව මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ දකුණු මුහුදෙන් ඔබ්බට ගමන්කරමින් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වෙත අවධානය යොමුකරන ලදි. 2013 වර්ෂයේ අගොස්තු මස 4වන දින සිට 31 දින දක්වා කාලය තුළ උතුරු ප‍්‍රදේශයේ මුලතිව්, යාපනය, ඩෙල්ෆ්ට් හා මන්නාරම යන කලාප 4 මුල්කරගනිමින් මෙතෙක් සිදුකළ හා ඉදිරියට සිදුකිරීමට බලාපොරොත්තු වන මුහුදු පුරාවිද්‍යා ගවේෂණයන්ගේ තොරතුරු ලිපි මාලාවක් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

ගවේෂණ කලාපය

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ ඉතිහාසය
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මධ්‍යම සංසකෘතික අරමුදල (Central Cultural Fund-CCF)ට අයත් ව්‍යාපෘතියක් ලෙසින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) හැදින්විය හැකිය. 1992 වර්ෂයේ දී ගාලූවරාය ආශ‍්‍රීතව සිදුකළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ වලින් පසුව 2001 වර්ෂයේ ස්ථාපිත කළ මුහුදු පුරාවිද්‍යා ඒකකය ගාලූ වරාය මුල් කරගනිමින් මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු රැසක් ක‍්‍රියාවට නැංවීය. 1992 වර්ෂයේ සිට මේ දක්වා ගාලූ වරාය ආශ‍්‍රිතව දියයට පුරාවිද්‍යා ස්ථාන 26ක් අනාවරණය කොටගෙන ඇත. ආරම්භක අවධියේ දී ගාලූවරාය ආශ‍්‍රිතව ගවේෂණ කටයුතු වසර කීපයක්ම සිදුකළ ද එම පර්යේෂණ ගාල්ල ප‍්‍රදේශයෙන් ඔබ්බට රැගෙන යමින් මුලු දිවයින පුරා මුහුදු තීරය ආවරණය වන පරිදි සිදුකිරීමට සැලසුම්කරන ලදි. ඒ අනුව 2008 වර්ෂයේදී යුනෙස්කෝ ආධාර මත ආසියානු පැසිපික් කලාපයේ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර පාසල ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරමින් ඒ සදහා අවශ්‍ය පුහුණු කටයුතු සදහා උචිත දියයට පුරා ක්ෂෙත‍්‍රයක් සෙවීම සදහා සිදුකළ පර්යේෂණ මත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කිරින්ද හා අම්බලන්තොට ගොඩවාය පුරාක්ෂේත‍්‍ර අශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රිතව පර්යේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී මහාරාවණ පරය (Great Basses) ආශ‍්‍රිතව ගිලී ඇති පුරා ක්ෂේත‍්‍ර තුනක පර්යේෂණ කටයුතු සිදුකොට ඇත. එනම් රිදී කාසි නැව (Silver Wreck), බෝතල් නැව (Bottle Wreck), තඔ නැව (Copper Wreck)උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ. මෙම කටයුතු වලින් පසුව කුඩා රාවණ පරය (Little Basses) ආශ‍්‍රිතව යකඩ නැව ආශ‍්‍රිත පර්යේෂණ ද වැදගත් වේ.

2008 වර්ෂයේ සිදුකළ වැදගත් පර්යේෂණයක් ලෙසින් අම්බලන්තොට ගොඩවාය පැරණි වරාය සිට කිලෝමීටර 4ක පමණ දුරින් හා නව වරායේ මුවදොර සිට කිලෝමීටර 4ක පමණ දුරින් ගැඹුරු මුහුදේ ගිලී ගොස් ඇති, මෙතෙක් ලංකාවෙන් සොයාගෙන ඇති පැරණිම නෞකාව (ක‍්‍රිස්තු පූර්ව 2 – ක‍්‍රිස්තු වර්ෂ 2 වන සියවස් වලට කාලනීර්ණය කොට ඇත. එම පර්යේෂණ වැදගත් සංදිස්ථානයක් ලෙසින් හැදින්විය හැකිය. එම වර්ෂයේම ගොඩවාය ආශි‍්‍රතව යකඩ නෞකාවක් පිළිබදව ද පර්යේෂණ සිදුකරන ලදි.

ගාල්ලට නුදුරු හික්කඩුව හා අම්බලන්ගොඩ මුහුදු තීරයේ ගිලී ගිය වික්ටරි (Victory), අර්ල් ඔෆ් සාෆ්ට්ස්බරි (Earl of Shaftsburry), එස්. එස් කොන්ච් (S.S Conch), යන නෞකාවල 2008 වර්ෂයේදී සිදුකළ පර්යේෂණ වැදගත් වේ.

2012 වර්ෂය වනතෙක් ශ‍්‍රී ලංකාවේ දකුණූ මුහුදු තීරයට පමණක් සීමාව පැවති මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයන් වයඹ දිග මුහුදු තීරයට විහිදුවාලීම වැදගත් අවස්ථාවක් ලෙසින් දැක්විය හැකි වේ. ඒ අනුව හලාවත සිට මන්නාරම තෙක් සිදුකළ මූලික ක්ෂේත‍්‍ර ගවේෂණය හා ද්වීතීකව ක‍්‍රියාවට නැංවූ දියයට දුරස්ථ සංවේදක (Remote Sensing Survey) පර්යේෂණය වැදගත් විය. එම පර්යේෂණ කටයුතුවලින් මෙතෙක් හදුනානොගත් දියයට සංස්කෘතික උරුමයන් කිහිපයක්ම හදුනාගැනීමට හැකියාව උදාවිය. එහි දී මුහුද හා කලපු ආශ‍්‍රිතව සිදුකළ පර්යේෂණයන් ඔස්සේ කල්පිටිය කුඩාව මුහුදු තීරයේ ගිලී ඇති දැවමය නෞකාව හා පුත්තලම කලපුව ආශ‍්‍රිතව දෙවන ලෝක යුධ සමයට අයත් ප‍්‍රහාරක යානා දෙකක සාධක සොයා ගනු ලැබී ය.

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ආශ‍්‍රිතව ගෙනගිය මුහුදු පුරාවිද්‍යා ගවේෂණය, 2012 ජූලි මස 13 වන දින සිට අගෝසතු මස 26 දින දක්වා සිදුකරන ලදි. දියයට ක්‍ෂ්ත‍්‍රයන්හි පරිමානික හෝ පරිමානික නොවන සැලසුම් හා කටු සටහන් නිර්මාණය, නිෂ්චල හා චලන ඡායාරූප ඔස්සේ වාර්තාකරණය, ජී.පී.එස් තාක්ෂණය ම`ගsන් ස්ථාන සලකුණු කිරීම ආදී වූ ක‍්‍රමවේදයන් ගවේෂණයේදී භාවිතා විය (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013). ත‍්‍රීකුණාමලය, මඩකලපුව හා පොතුවිල් යන කලාප 03 මුල් කරගෙන ගෙනගිය ගවේෂණයේ දී ගිලීගිය නෞකා 16ක් හා වෙනත් මුහුදු පුරාවිද්‍යා ස්ථාන 04ක් සම්බන්ධ නව තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවිය. උප්පුවේලි ආශ‍්‍රිත එච්. එම්. එස්. ඩයමඬේ හා නිලාවෙලි ආශ‍්‍රිත ඉරක්කණ්ඩි නෞකාවන් ත‍්‍රීකුණාමලය කලාපයේ ද (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013), ලේඩි මැක්ලම්, බී‍්‍රටීෂ් සාජන්ට්, පාසිකුඩා ආශ‍්‍රිත යකඩ නෞකාව, පාසිකුඩා වාෂ්ප නෞකාව i, පාසිකුඩා වාෂ්ප නෞකාව ii, මඩකලපුව වාෂ්ප නෞකාව, ඒස් එස් බෲනස් නෞකාව (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013) (සක්කර කප්පල්), කල්මුණේ වාෂ්ප නෞකාව, කල්මුණේ යකඩ නෞකාවන් මඩකලපුව කලාපයේ ද අක්කරෙයිපත්තුව වාෂ්ප නෞකාව, තිරුක්කෝවිල වාෂ්ප නෞකාව, තිරුක්කෝවිල යකඩ නෞකාව, කෝමාරි වාෂ්ප, ඔමරි වාෂ්ප නෞකාවන් පොතුවිල් හා අවට කලාපය ගවේෂණයේ දී ද අනාවරණය කරගැනීමට හැකිවිය (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013). ත්‍රිකුණාමළය කෝණේෂ්වරම් ස්වාමි රොක් ආශ‍්‍රිත මුහුදු පුරාවිද්‍යා ස්ථානය, කායන්කර්නි ගල්පාලම, පාසිකුඩා ලංදේසි ජැටිය හා ගබඩාව, හා පොතුවිල මුහුදු විහාරය යන මුහුදු පුරාවිද්‍යා ස්ථාන ආශ‍්‍රිතව නව තොරතුරු අනාවරණයකොට ගැනීමට හැකියාව උදාවිය. ගවේෂණයේදී හදුනාගත් නෞකාවන් දැව හා යකඩ භාවිතයෙන් නිර්මාණය කළ නෞකා විය. එම නෞකාවන් ශ‍්‍රී ලංකාවේ ලංදේසි හා ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයට අයත් විය හැකිය. වාර්තා වූ නෞකා අතරින් බොහෝ නෞකාවන් වාෂ්ප නෞකාවන් වේ. නෞකාවන්හී ඉදිරිපස කොටස, පිටුපස කොටස, බද කොටස්, අවර පෙත්ත, අවරදණ්ඩ, බොයිලේරු ආදී වු විවිධ අවශේෂ හදුනාගැනීමට හැකියාව ඇති අතර බොහෝ කොටස් ස්වභාවික හා මිනිස් ක‍්‍රියාකාරකම් මත විනාශයට ලක්ව ඇත. ලෝහමය නැංගුරමක් හා මිනිස් අතින් සුමට කළ ශිලා අවශේෂ කෝණේෂ්වරම් ආශ‍්‍රිතව වාර්තා වූ අතර, කායන්කර්නි ආරු ලෙසින් හදුන්වන කායන්කර්නි කලපුව හරහා බටහිර සිට නැගෙනහිර දෙසට වැටී පවතින ගල් පාලම මීටර 200ක පමණ ව්‍යාප්තව ඇති බව පෙනේ. සමහර කණූ කලපුව හරහා වැටී ඇති අතර සිටුවා ඇති ගල් කණු වල යම් ප‍්‍රමාණයක් ජලයෙන් යට වී ඇත. ගල් පාලම සිට කිලෝමීටර 2ක් පමණ නැගෙනහිර දෙසින් හා කායන්කර්නි මුහුදු වෙරළේ සිට මීටර 200ක් පමණ ගොඩබිම දෙසට වන්නට කිලෝමීටර කිහිපයක් පුරා ව්‍යාප්තව පවතින පුරාවිද්‍යා නටඹුන් රැසක් ද හදුනාගත හැකි විය (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013). පාසිකුඩා වෙරළ ආශ‍්‍රිතව ජැටියක අවශේෂ හා ගබඩා ගොඩනැගිල්ලක පාදම් කොටස් අනාවරණය වූ අතර එම වාස්තුවිද්‍යා අංගයන් ලංදේසි සමයට ගමන් ගන්නා බව පෙනේ. මුහුදු මහා විහාරයට අයත් වෙරළේ සිට මීටර 500ක් පමණ දුරකින් මුහුද ආශ‍්‍රිතව සිදුකළ ගවේෂණයේදී යම් වාස්තුවිද්‍යාත්මක අංග වලට හැඩහුරුකම් දක්වන අවශේෂ අනාවරණය කොටගැනීමට හැකියාව උදාවිය. රවුම් හැඩය ගන්නා වූ මිනිසාගේ යම් මැදිහත් වීමක් දනවන අවශේෂ කිහිපයකම සාධක වාර්තාකිරීමට හැකිවිය (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013). මෙසේ වාර්තා වූ අවශේෂ සදකඩපහණ, කොරවක්ගල හා ගඩොල් අවශේෂ ආදී වූ බෞද්ධ විහාර කර්මාන්තයේ බහුලව භාවිතා වන වාස්තුවිද්‍යාත්මක අංග වලට සමීප ලක්ෂණ පෙන්නුම් කළ ද එය නිශ්චිත ලෙස ප‍්‍රකාශකිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැත.

ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුදේ දියයට පුරාවිද්‍යා ගවේෂණ
2013 වර්ෂයේ අගොස්තු මස 4 දින සිට ආරම්භ කළ උතුරු ප‍්‍රදේශයේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ අගෝස්තු මස 31 දින දක්වා කාලය තුළ උතුරු ප‍්‍රදේශයේ මුලතිව්, පුදුමාතලං, චුණ්ඩිකුලම්, පේදුරු තුඩුව, කන්කසන්තුරේ, දඹකොළ පටුන, නිලාවෙරෙයි, කෙරෙතීව්, කයිට්ස්, ඩෙල්ෆ්ට්, ඉරණතීව්, වෙඩිතිලතීව්, තෙලෙමන්නාරම ආදී ප‍්‍රදේශයන් ආශ‍්‍රිතව සිදු කිරීමට යෝජනාකොට ඇත.

පර්යේෂණ කණ්ඩායම

 

නම තනතුර ඡායාරුපය
1 ඩබ්. එම් චන්ද්‍රරත්න ස්ථානභාර නිළධාරී  
2 එස්. එම්. නන්දදාස පර්යේෂණ නිළධාරී  
3 ඒ. එම්. ඒ දයානන්ද පර්යේෂණ නිළධාරී  
4 රසික මුතුකුමාරන පර්යේෂණ නිළධාරී  
5 චමල් කේ. ගමගේ උපාධිධාරී පුහුණුපර්යේෂණ නිළධාරි  
6 ඉන්දික උපුල් හේවගේ උපාධිධාරී පුහුණුපර්යේෂණ නිළධාරි  
7 මහින්ද කරුණාරත්න උපාධිධාරී පුහුණුපර්යේෂණ නිළධාරි  
8 නදීකා කුමාරි උපාධිධාරී පුහුණුපර්යේෂණ නිළධාරි  
9 රුක්ෂාන් ප‍්‍රියන්දන උපාධිධාරී පුහුණුපර්යේෂණ නිළධාරි  
10 සමීර ප‍්‍රසංග කරුණාරත්න උපාධිධාරී පුහුණුපර්යේෂණ නිළධාරි  
11 චමිලා කුමාරි උපාධිධාරී පුහුණුපර්යේෂණ නිළධාරි  
12 අජිත් ශ්‍යාමල් රියදුරු  
13 ඞී. ඒ. ආර් දිසානායක රියදුරු  
15 කේ. එච් ප්‍රසාද් ඉන්දික රියදුරු  
14 ඞී. එම්. මහින්ද සහායක  

 

පූර්ව සූදානම
ස්ථානභාර නිලධාරි ඩබ්. එම් චන්ද්‍රරත්න මහතාගේ මූලිකත්වයේන් උතුරු ගවේශණය මූලික කොටගත් රැස්වීම් කිහිපයක් පැවත්වීමෙන් අනතුරුව උතරු මුහුදු පුරාවිද්‍යා ගවේෂණය සදහා මූලික වැඩපිළිවෙල සකස්කරන ලදි. එහිදී ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, හා ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා ගැනීම මූලික ලෙස සිදුකරන ලදි. ගවේෂණය සදහා අවශ්‍ය බඩු භාණ්ඩාදිය සූදානම්කිරීම හා අක‍්‍රීයව පැවති උපකරණ අලූත් වැඩියාකිරීම හා අවශ්‍ය නව භාණ්ඩ මිලදී ගැනීම ඉන් අනතුරුව සිදුකරන ලදි.

මූලික ගවේෂණය
2013 වර්ෂයේ ජූලි මස 11වන දින සිට 10වන දින දක්වා මුහුදු පුරාවිද්‍යා ඒකකය නියෝජනය කරමින් නන්දදාස සමරවීර, රසික මුතුකුමාරන, ඉන්දික උපුල් හේවගේ හා රුක්ෂාන් ප‍්‍රියන්දන සහභාගිවිය. මුලතිව්, යාපනය, ඩෙල්ෆ්, දඹකොල පටුන, කන්කසන්තුරෙ, පේදුරුතුඩුව, කයිට්ස් ස්ථාන ආශ‍්‍රිතව මූලික ගවේශණයට ලක්කරන ලදි.

ප‍්‍රදේශයේ ජීවත්වන ධීවර කර්මාන්තයේ නියලෙන ප‍්‍රජාව හා කිමිදුම්කරුවන්, ප‍්‍රදේශයේ ආරක්ෂක අංශයේ නිලධාරීන්, ආගමික පූජකවරුන්, ධීවර ප‍්‍රජාව නියෝජනය කරන සමිති නිලයන් මුණගැසී ඔවුන්ගෙන් ලද තොරතුරු මත තොරතුරු ඒකරාශි කරගන්නා ලදි. ඩෙල්ෆ් දිවයින ආශ‍්‍රිතව මූලික පර්යේෂණ කිමිදීමක් සිදුකරන ලදි.

තොරතුරු ලබාගැනීමේදී ගවේෂණ කණ්ඩායමට විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදුවිය. ද්‍රවිඩ භාෂා සංනිවේදන ගැටලු ව, ජනතාව මෙවැනි පර්යේෂණ කෙරෙහි දක්වන අවිෂ්වාසය ආදී කරුණු උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ. දීර්ඝ කාලීනව යුදමය මානසිකත්වයක් පැවති ජනතාව වෙත පැමිණෙන සිංහල ජනතාව කෙරෙහි දක්වන මානසික ස්භාවය පර්යේෂණ කෙරෙහි ඝෘණාත්මක බලපෑම් ඇති කරන ලදි. පර්යේෂණය කෙරෙහි විශ්වාසය ඇති කොට ගැනීමේදී පූර්ව ගවේෂණ වාර්තා ඉදිරිපත් කරමින් විවිධ උපක‍්‍රමශීළි පියවරයන් අනුගමනය කිරීම අවශ්‍ය විය. ගවේෂණයේදී එකතුකොටගත් තොරතුරු මත ද්විතීක ගවේෂණය සදහා අවශ්‍ය පදනම සකස්කරගන්නා ලදි.

සාහිත්‍ය මූලාශ‍්‍ර ගවේෂණය
සාහිත්‍ය මූලාශ‍්‍ර ගවේෂණය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේනතුවේ පැරණි පුවත්පත් පරික්ෂාකිරීම ඔස්සේ සිදුකරන ලදි. එහි දී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුලතිව් ආශ‍්‍රිතව ගිලීගිය නෞකාවක් වශයෙන් එස්. එස් ඉන්ඩස් (SS Indus) නමැති නෞකාව පිළිබද තොරතුරු අනාවරණය කොටගැනීමට හැකියාව උදාවිය. මෙම සාහිත්‍ය මුලාශ‍්‍ර ගවේෂණය සදහා මහින්ද කරුණාරත්න හා රුක්ෂාන් ප‍්‍රියන්දන සහභාගිවිය.

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ මුහුදු පුරාවිද්‍යාඥයකු වන නන්දදාස සමරවීර මෙම නෞකාව පිළිබදව මූලාශ‍්‍ර තොරතුරු රැසක් එක්රැස් කරන ලදි. එහිදී ආතර් සී ක්ලාක්, චාල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ 1962-63 වාර්තාවන්, පැරණි පත්තර වාර්තාවන් හා අන්තර්ජාල තොරතුරු සාහිත්‍ය මූලාශ‍්‍ර ගවේෂණය සදහා පාදක වී ඇත. එතුමා මූලාශ‍්‍ර එකතුකරමින් රචිත“ඉන්දියාවේ භාරුත්හී අගනාම කලාකෘති ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුදේ SS Indus සොයා යන ගවේෂණ ඇරඹෙයි” යන ලිපිය ගවේශණයේදී අත් පොත්ක් ලෙසින් භාවිතා කළ හැකිවිය. එම මූලාශ‍්‍ර සාධක හා නාවික සැලසුම් (Nautical Charts) මුල්කරගනිමින් මෙම ගවේෂණය සදහා අවශ්‍ය පියවරයන් සිදුකරන ලදි.

ආශි‍්‍රත මූලාශ‍්‍ර
Dayananda, AMA, and Mahinda Karunarathna. http://si.archaeology.lk/. August 9, 2013. http://si.archaeology.lk/ (accessed August 9, 2013).

කරුණාරත්න, මහින්ද; සහ වෙනත්. “ශීලංකාවේ නැගෙනහිර පළාතආශිත නව මුහුදු පුරාවිද්‍යා අනාවරණ විශේෂ අවධානය ත්‍රිකුණාමලය සිට පොතුවිල් දක්වා.” The Royal Asiatic Society of Sri Lanka: 6th Reserch Conference. Colombo 07: Royal Asiatic Society of Sri Lanka, 2013. 146-147.

නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය – දෙවන කොටස

සටහන ඒ.එම්.ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල

 

රාවණ පරය ආශ‍්‍රිත දියයට පුරාවිද්‍යා උරුමය

ශ‍්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විවිධාකාර වූ නාවික ක‍්‍රියාකාරකම් සිඳුවූ බවට මහාවංශය ආදී වංශකථා තොරතුරු හා පුරාවිද්‍යාත්මක අවශේෂයන් අනුව පැහැදිලි වේ. ශ‍්‍රී ලාංකික ජනයාගේ සංස්කෘතිය, සභ්‍යත්වය, දේශපාලනය මෙන්ම ආගම යන අංශ කෙරෙහි මෙම නාවික ක‍්‍රියාකාරකම් නොඅඩුව බලපාන්නට ඇත. එහෙත් ලාංකේය පුරාවිද්‍යාඥයන්ගේ අවධානය ඉතා මෑතක් වනතුරුම මුහුද කෙරෙහි යොමුනොකරන ලදි. ඔවුන්ගේ වැඩි අවධානය රට මැද වූ දියුණු ශිෂ්ටාචාරයක නටඹුන් කෙරෙහි යොමුවී පැවතිණි.

මෙතෙක් ගොඩබිම වූ පුරාවිද්‍යා කටයුතුවලට කොටුව සිටි ලාංකේය පුරාවිද්‍යාඥයන්ගේ අවධානය මුහුද යට ගිලී ඇති උරුමයන් කෙරෙහි යොමුවන්නට බලපෑ සුවිශේෂි සොයගැනීමක් ලෙසින් රාවණ පර ආශ‍්‍රිත මුහුදේ තිබී සොයාගත් 17 වන සියවසට අයත් යැයි සැලකෙන රිදී කාසි නෞකාව හැදින්විය හැකිය. මහාරාවණා හා කුඩාරාවණා පරයන් ආශ‍්‍රිතව අනතුරට ලක් වූ නෞකාවන් 5ක් සම්බන්ධ සාක්ෂීන් විවිධ පර්යේෂණ ඔස්සේ අණාවරණය වී ඇත. රිදී කාසි නැව , බෝතල් නැව, තඹ නැව, කුඩා රාවණ යකඩ නැව හා එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාව(HMS Daedalus) උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ.

රිදී කාසි නැව(Silver Coin Wreck)

ආතර් සී ක්ලාක් මහතා ඔහුගේ මිතුරන් වූ මයික් විල්සන් (Mike Wilson) හා රොඞ්නි ජොන්ක්ලස් (Rodeney Jonklaas) සමඟ අවස්ථා කීපයකදීම රිදීකාසි නැව ආශ‍්‍රිතව කිමිදෙමින් ගවේෂණ කටයුතුවල නියැලී ඇත. මෙම ගවේෂණයන්ගෙන් අනතුරුව ක්ලාක් හා මයික් විල්සන් විසින් රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂණයන් The Treasure of the Great Reef ග‍්‍රන්ථය ඔස්සේ ප‍්‍රකාශයට පත්කොට ඇත. රිදීකාසි නැව ආශ‍්‍රිතව ක්ලාක් ඇතුළු කණ්ඩායම විසින් ක‍්‍රමාණුකූල පර්යේෂණයක් සිදුකළේය. එම පර්යේෂණ සඳහා එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතාගේ අවසරය හා සහයෝගය ලබා දී ඇත. එහිදී ප‍්‍රථම වරට ලාංකේය මුහුදු පුරවිද්‍යා කැණීමක් උදෙසා අවසර ලබාදීම හා මුහුදු පුරාවිද්‍යාවේ විශේෂඥයකු වූ පීටර් ත්‍රෝක්මෝටන් (Peter Throckmoton) සහභාගි වීම විශේෂිතය. එය ශ‍්‍රී ලංකාවේ දියයට පුරාවිද්‍යා කටයුතු සඳහා මුහුදු පුරාවිද්‍යාඥයකුගේ මැදිහත් වීමට ලක්වුණූ ප‍්‍රථම අවස්ථාව ලෙසින් දැක්විය හැකිය. Peter Throckmoton ඇතුළු කණ්ඩායම රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂනයේදී අදින ලද සැලසුම ඉහත දක්වා ඇත.

පීටර් ත්‍රෝක්මෝටන් (Peter Throckmoton) (Clerk and Wilson 1964, 46-47) 

1961 වර්ෂයේදී මෙම රිදී කාසි සහිත නෞකාව පළමු වරට සොයාගනු ලැබුයේ දියයට දක්ෂ ඡායාරූප ශිල්පි මයික් විල්සන් සමඟ කිමිදුම් කටයුතු කළ ඇමරිකන් ජාතික 14 හැවිරිදි බොබි කිරිගෙල් (Bobby Kriegel) හා 13 හැවිරිදි මාර්ක් ස්මිත් (Mark Smith) යන නව යෞවනයන් දෙදෙනකු විසිනි. එහිදී රිදීකාසි 115ක් සහ කුඩා පිත්තල කාලතුවක්කු 2ක් ගොඩගෙන තිබේ. (Clerk and Wilson 1964, 31, ගොඩකුඹුර 1964, 39-40).


බොබි කිරිගෙල් හා මාර්ක් ස්මිත් (Clerk and Wilson 1964, 142-143) 

රිදී කාසි නැව ආශ‍්‍රිත හමුවූ පුරාවස්තු(Clerk and Wilson 1964, 142-143) 

රිදී කාසි නෞකාව පිළිබඳව තව දුරටත් පර්යේෂණය කළ ඔවුන්ට එම රිදී කාසි වයඔ දිග ඉන්දියාවේ සුරත් ප‍්‍රදේශයේ නිෂ්පාදනය කළ රුපියලේ රිදී කාසි බවට හඳුනාගැනීමට හැකිව ඇත. එම රිදී කාසි බැටරි ඇසිට් වතුරින් පිරිසිදු කළ අතර එහිදී 1113 යන අංක හඳුනා ගැනිනි. ඒ පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කළ පසුව එම කාසි ස්ලාම් ආගමික අල් හිජිරා (Hegira) වර්ෂයට අයත් බවට තහවුරු විය. හමුවුණු සාධක අනුව එම නාවික යාත‍්‍රාව ක‍්‍රිස්තු වර්ෂ 1702 දී ඉන්දියාවේ පාලනය ගෙනගිය මොගල් අධිරාජ්‍යාට (1658-1707) සමකාලීන බව තහවුරු කරගන්නා ලදි.(Clerk and Wilson 1964, 43, ගොඩකුඹුර 1964, 39-40)

මෙම නෞකාව අනතුරට පත්වවන අවස්ථාව වන විට එහි රිදී කාසි දහසේ ගොඩවල් ලෙසින් වෙන් කොට රෙදි මලූවල තැම්පත් කොට පැවති බවට හමු වූ සාධක අනුව තහවුරු වී ඇත. මේ අතර තිබු අඩි 4.5ක් දිග වූ රාත්තල් 333 ක් බරවු අලංකාර කාලතුවක්කුවක්, පිත්තල බන්දේසියක්, කාලතුවක්කු උණ්ඩ ගොඩබිමට ගෙනඑන ලද බව සඳහන් වේ.

 රිදී කාසි නෞකාවේ පුරාවස්තු ගොඩගන්නා අවස්ථාවක් (Clerk and Wilson 1964, 142-143)

රිදී කාසි නැව (Silver Coin Wreck) ආශ‍්‍රිත ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ

1992 වර්ෂයේ දී ගාලූවරාය ආශ‍්‍රීතව සිඳුකළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ වලින් පසුව 2001 වර්ෂයේ ස්ථාපිත කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit/ MAU) ගාලූවරාය මුල් කරගනිමින් මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු රැසක් ක‍්‍රියාවට නැංවීය. ආරම්භක අවධියේ දී ගාලූවරාය ආශ‍්‍රිතව ගවේෂණ කටයුතු වසර කීපයක්ම සිඳුකළ ද එම පර්යේෂණ ගාල්ල ප‍්‍රදේශයෙන් ඔබ්බට රැගෙන යමින් මුළු දිවයින පුරා මුහුදු තීරය ආවරණය වන පරිදි සිඳුකිරීමට සැලසුම්කරන ලදි (Dayananda and Karunarathna 2012).

2008 වර්ෂයේදී යුනෙස්කෝ ආධාර මත ආසියානු පැසිපික් කලාපයේ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර පාසල ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරමින් අවශ්‍ය පුහුණු කටයුතු සඳහා උචිත දියයට පුරා ක්ෂේත්‍රයක් සෙවීම සඳහා සිඳුකළ පර්යේෂණ මත හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ කිරින්ද හා අම්බලන්තොට ගොඩවාය පුරාක්ෂේත‍්‍ර මුල්කරගනිමින් ගවේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී මහාරාවණ පරය (Great Basses) ආශ‍්‍රිතව ගිලී ඇති නෞකාවන් තුනක පර්යේෂණ කටයුතු සිඳුකොට ඇත. රිදී කාසි නැව (Silver Wreck), බෝතල් නැව (Bottle Wreck), තඔ නැව (Copper Wreck) උදාහරණ ලෙසින් දැක්විය හැකිය. මෙම කටයුතු වලින් පසුව කුඩා රාවණ පරය (Little Basses) ආශ‍්‍රිත යකඩ නැව මුල්කරගනිමින් ගෙනගිය පර්යේෂණ ද වැදගත් වේ (Dayananda and Karunarathna 2012).

2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 7වන දින සිට 21 දින දක්වා කාලය තුළ කුඩා රාවණ හා මහාරාවණ කලාපයෙහි පර්යේෂණ රැගෙන ගියේ ය. 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 7වන දින පළමු පර්යේෂණ කටයුතු මහාරාවණ ආශ‍්‍රිතව ගෙනයාමට තීරණය විය. මුල්ම වැඩකටයුතු රිදී කාසි නැව ආශ‍්‍රිතව සිඳුකිරීමට උත්සහා කළ ද මුහුදේ පැවති අයහපත් තත්ත්ය එයට බාධා ඇති කළේ ය. එම නිසා අපගේ පර්යේෂණ ඉලක්කය තඹ නැව වෙතට යොමුකිරීමට තීරණය විය. ඔක්තෝම්බර් මස 8 වන දින නැවතත් රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂණ රැගෙනයාමට තීරණය කළත් පෙරසේම මුහුදේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය, දෙවැනි උත්සහය ද අසාර්ථක කිරීමට හේතු විය. ඒ අනුව බෝතල් නැව ආශ‍්‍රිතව එම දින පර්යේෂණ රැගෙන ගියේය. ඔක්තෝම්බර් මස 9 හා 10 වන දින ද පර්යේෂණ රැගෙනයාමට උත්සාහකළ ද එය ද අසාර්ථක විය. එම අසාර්ථක වීමට ස්ථානයේ ස්භාවය ඝෘජුලෙසම බලපෑවේ ය. මහාරාවණා පරය ආශී‍්‍රතව පවතින විශාල ගුහා හා දෝනා ස්වරූපය නිසා එම ස්ථානයට ප‍්‍රවේශ විමට ඇත්තේ පටු ගල් පර සහිත කුහරයක් ඔස්සේ ය. කුහරය තුළට ගමන්කරන වේගවත් රළ ස්ථානයට ඇතුළුවීමට නිරන්තරයෙන් බාධා ඇතිකරයි.

රිදීකාසි නැව ආශ‍්‍රිත කලාපටය ඇතුල්වන දෝනාව (Clerk and Wilson 1964, 142-143) 

වර්ෂයේ ඉතාමත් කෙටිදින කිහිපයක් පමණක් මෙම ස්ථානයේ කිමිදුම් කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වේ. එය වසරේ මාර්තු, අපේ‍්‍රල්, ඔක්තෝම්බර හා නොවැම්බර මාස ආශ‍්‍රිතව සිදුවන බව පෙනේ. මෙම තත්ත්වයන් තුළ රිදී කාසි නැව ආශ‍්‍රීත පර්යේෂණ කිරීමට දැඩි උනන්දුවක් පැවතිය ද, කණ්ඩායමේ තීරණය අනුව පර්යේෂණ කටයුතු බෝතල්, තඹ හා කුඩාරාවණ යකඩ නෞකා වෙතට දිගැලිකිරීමට තීරණය විය (MAU Dive Reports 2008 10 07-10). ඒ අනුව 2008 වර්ෂයේ රිදී කාසි නැව ඉලක්ක කරගනිමින් සිඳුකිරීමට සැලසුම්කරගත් සියලූ පර්යේෂණ අසාර්ථක විය.

2010 වර්ෂයේ විවෘත කිරීමට යෝජනාව පැවති ලංකාවේ පළමු සමුද්‍ර පුරාවිද්‍ය කෞතුකාගාරයට අවශ්‍ය වන මුහුද ආශ‍්‍රිත පුරාවස්තු සේවීමේ කාර්යභාරය හිමි වුයේ ගාල්ල මුහුුදු පුරාවිද්‍යා ඒකකයට වේ. ඒ අනුව 2009 වර්ෂයේ මාර්තු මස 22 වන දින සිට අපේ‍්‍රල් 1 වන දින දකවා මහරාවණ හා කුඩාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ සිඳුකරන ලදි. 2008 වර්ෂයේ කිහිපවතාවක් පර්යේෂණ කිරීමට උත්සහකොට අසාර්ථක වූ රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂණ රැගෙනයාමට මෙය අවස්ථාවක් විය.

2009 මාර්තු මස 22 හා 25 දෙදින මෙම වැඩබිමට ළගාවිමට සුදුසු පාරිසරික තත්ත්වයක් උදාවිය. මෙම පර්යේෂණ සඳහා මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පාලිත වීරසිංහ, නන්දදාස සමරවීර, ඒ. එම්. ඒ. දයානන්ද, රසික මුතුකුමාරණ, සනත් කරුණාරත්න, ඩබ්ලිව්. එම්. චන්ද්‍රරත්න, ජානක වරුෂ විතාරණ හා නාවික හමුදාවේ කිමිදුම්කරුවකු ද සහභාගි විය.


2009 පර්යේෂණ කණ්ඩායම, ඡායාරූප- රසික මුතුකුමාරණ 

“අපි පළමුවෙනි වතාවට ලෝකප‍්‍රසිද්ධ රිදී කාසි දැව නැව ආශ‍්‍රිතව දියයට පර්යේෂණ කටයුතු ආරම්භකරන ලදි. ස්ථානයේ ස්භාවය ඉතාමත් දුෂ්කර විය. තියුණු කැපෙන සුළු කොරල් පර අප ට මහත් හිසරදයක් විය. මුහුදේ තත්ත්වය ද එතරම් සුභදායක වුයේ ද නැත. වරින්වර පැමිණෙන වේගවත් රළ මෙවැනි පරිසරයක වැඩකිරීම තව තවත් දුෂ්කර කළේ ය. කෙසේ වුවත් අපි මෙතෙක් පුල පුලා බලා සිටි රිදීකාසි වැඩ බිම හඳුනාගත්තේය. ඒ ආශ‍්‍රිතව නැංගුරම් 4ක් හා කාලතුවක්කු කිහිපයක් දැක ගැනීමට හැකිවිය. මේවා දැඩිව බෙල්ලන් හා වෙනත් මුහුදු ජීවින්ගේ ග‍්‍රහණයට ලක්ව පැවතිණි (සිමින්තිකරණයට(Cementation/ Concretion)). ඒ අනුව පුරාක්ෂේත‍්‍රය පුරා සැරිසරමින් වාර්තාකරණය කෙසේ කළ යුතු දැයි වටහගත්තේය”. ඒ අනුව පැවති කෙටිකාල පරාසය අනුව නිර්මාණය කළ ක්ෂේත‍්‍ර කටු සැලසුම පහත පරිදි වේ (MAU Dive Reports 2009. 03. 22).

2009 මාර්තු මස 25 වන දින නැවතත් රිදී කාසි නැව ආශ‍්‍රිතව පර්යේෂණ කිරීමට හැකියාව උදාවිය. එදින පර්යේෂණයේ ප‍්‍රධානම අරමුණ වූයේ ක්ෂේත‍්‍රය මනාව හඳුනා ගැනීම හා ස්ථානයෙහි කටුසැලසුමක් නිර්මාණය කිරීමය. පෙර දින ගවේෂණයට වඩා මුහුදේ තත්ත්වය යහපත්ව පැවති බැවින් වැඩබිමේ කටුසැලසුමක් නිර්මාණයට හා ඡායාරූපමය වාර්තාකරණයට හැකියාව උදාවිය. හමුවුණු පුරාවස්තූන්හී විධිමත් මිනුම්ගත කිරීමක් හෝ ක්ෂේත‍්‍ර සැලසුමක් නිර්මණය කිරීමට මෙම කෙට් කාලය ප‍්‍රමාණවත් නොවුවද එය ඉදිරි පර්යේෂණයනිහීදි සිඳුකළ යුතුව ඇත.

ඡායාරූප- රසික මුතුකුමාරණ 

2011 වර්ෂයේ අපේ‍්‍රල් මස 28 වන දින සිට 30 දක්වා මහාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ කටයුතු රැගෙන යාමට අවස්ථාවක් උදාවිය. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ඉල්ලීමකට අනුව මෙම පර්යේෂණය සිඳුවිය. පර්යේෂණයේ අරමුණ වුයේ අතීත ශ‍්‍රී ලංකා-චීන නාවික සබඳතාවයන් ගවේෂණය කිරීම ය. තංගල්ල නාවික හමුදා කඳවුරේ සිට පර්යේෂණ කටයුතු සඳහා පිටත්විය. එහිදී වෝටර ජෙට් වර්ගයේ යාත‍්‍රාවන් දෙකක් භාවිතා කරනලදි. නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ සහයෝගය ද මෙයට හිමිවිය. සනත් කරුණාරත්න, ඩබ්ලිව්. එම්. චන්ද්‍රරත්න, ඒ. එම්.ඒ දයානන්ද හා රසික මුතුකුමාරණ මෙම ගවේෂණය සඳහා සහභාගිවූහ.

 2011 වර්ෂයේ පර්යේෂණ කණ්ඩායම 2011 

කෙසේ වුවත් පර්යේෂණ සමයේ මුහුදේ ස්භාවය ඉතාමත්ම අයහපත් විය. මෙහිදී රිදී කාසි නැව ආශ‍්‍රීතව පර්යේෂණ කිරීමට සුදානම් වුවද එය අතහැර දැමීමට පර්යේෂණ කණ්ඩායමට සිඳුවිය.

1960 දශකයේ ආතර් සී කලාක් – මයික් විල්සන් ගේ පර්යේෂණ පාදක කොටගෙන නිර්මාණය කළ රන්මුතුදුව චිත‍්‍රපටය දිය යට සැඟව ඇති පුරාවස්තු කෙරෙහි ජනතාවගේ කුතුහලය වර්ධනය කිරීමට ප‍්‍රධානම හේතුවක් විය. එය මුහුදු පුරාවිද්‍යාවට වාසි හා අවාසි සහගත තත්ත්වයක් ඇති කිරීමට සමත්විය. රන්මුතුදුව චිත‍්‍රපටය නැරඹු බොහෝ පිරිස් මුහුද ආශ‍්‍රීත වස්තූන් කෙරෙහි කුතුහලයෙන් බැලීම ආරම්භ කෙරිණී. එය මුහුදු පුරාවස්තු සොරාගැනීම ආරම්භවීමේ හැරවුම් කේන්ද්‍රයක් විය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දිය යට උරුමයන් ආරක්ෂාකීරීමට සමත් මුහුදු පුරාවිද්‍යා ඒකකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. ඒ අනුව මෙතෙක් ගොඩබිමට පමණක් සීමා වූ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා කටයුතු මුහුද කෙරෙහි යොමුවීමට හේතුවත් විය.


රන්මුතුදුව චිත‍්‍රපටය ආශ‍්‍රිත දර්ශනයක් (Clerk and Wilson 1964, 142-143) 

මහාරාවන බෝතල් නැව (Bottle Wreck)

1961-63 වර්ෂයන්හී දී ආතර් සී ක්ලක් ඇතුලූ කණ්ඩායම රාවණ පර ආශ‍්‍රිතව සිඳුකළ දියයට ගවේෂණයෙදී පළමුවරට මෙම නෞකාව පිළිබඳව තම කෘතිය වන The Treasure of the Great Reef හී වාර්තා කොට ඇත. ඔවුන් මෙම නෞකාව ආශ‍්‍රිතව හමුවුණු කොළ වර්ණය ආලේප කළ වීදුරු බෝතල් මතුපිට සටහන් කොට පැවති ඉංගිරීසි වදන් අනුව Clarke-Romer, Ceylon, Soda Water Wreck yd the Brandy-and- Soda Wreck ලෙසින් හැදින්විණි. නෞකාව 1850 හෝ 1860 යන කාලයට අයත් වියහැකි බව ප‍්‍රකාශ කොට ඇත (Clerk and Wilson 1964, 128).

පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගත් ඊයම් ඇබයක (Lead Plug) සලකුණු කරන ලද බි‍්‍රතාන්‍ය රජයට අයත් සංකේතයක් වන ඊතල සටහනක් පැවතීම හේතුකොටගෙන මෙම නෞකාව බි‍්‍රතාන්‍ය රජයට අයත් නෞකාවක් ලෙසට අනුමාන කිරීමට හැකියාව ඇත (Clerk and Wilson 1964, 118-119).

ක්ලාක් ඇතුළු කණ්ඩායම මෙම පර්යේෂණයේදී පාවිච්චි නොකළ සෝඩා හා විස්කි බෝතලයක් මතුපිටට රැගෙන ආ බව පැවසේ (ගොඩකුඹුර 1964, 49).

(Clerk and Wilson 1964, 142-143) 

බෝතල් නැව(Bottle Wreck) ආශ‍්‍රිත ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ

2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 8වන දින බෝතල් නැව ආශ‍්‍රීතව මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ ආරම්භකරන ලදි.

මීටර 5ක පමණ ගැඹුරකින් ස්ථානගතව ඇති බෝතල් නැව(Bottle Wreck) රිදී කාසි නැවට ආසන්න ගල් පරය සමීපයේ තැම්පත්ව ඇත. ස්ථානයෙන් බෝතල් හා කැබලි බහුලව හමුවන නිසා නෞකාව හැඳින්වීමට “බෝතල් නැව” (Bottle Wreck)යන වදන MAU කණ්ඩායම විසින් භාවිතයට ගැනිණි.

ක්ෂේත‍්‍රය මිනුම්ගතකිරීම, ඡායාරූප හා වීඩියෝකරණය ආදී ක‍්‍රම වේද ඔස්සේ වාර්තාකරණයට ලක්කරණ ලදි. එහිදී ෆොටෝ මෝසායි ක‍්‍රමවේදයට අනුව නෞකාවේ අවශේෂයන්ගේ විසිරීම සැලසුම්ගත කරණ ලදි. ඒ ඔස්සේ අදින ලද සැලසුම පහත පරිදි වේ.

බෝතල් නැව මුහුදු පතුලේ ඇති ආකාරය, සැලසුම – රසික මුතුකුමාරණ 

පුරා ක්ෂේත‍්‍රයේ හමුවී ඇති යකඩ ඵලක, යකඩ නැංගුරම් 2ක්, පැරණි නැව්වල සමබරතාවය රැකගැනීම උදෙසා භාවිතා කළ ගල්(Balance Stones) වීදුරු බෝතල්, සෙරමික් හා ලෝහමය ඇණ, ආදී පුරාවස්තු රැසක් ගවේෂණයේදී වාර්තාකොට ඇත.


බෝතල් නැව ආශ‍්‍රිත පුරාවස්තු විසිරි ඇති ආකාරය – ඡායාරූප – රසික මුතුකුමාරණ 

මෙහි හමුවන ටෝපිඩෝ හැඩැති බෝතල්වල Clarke -Romer & Co. Ceylon Superior Soda water යනුවෙන් සටහන්ව ඇත (Clerk and Wilson 1964, 118). මෙම සමාගම ක‍්‍රිස්තුවර්ෂ 1850 පමණ වන විට ලංකාවේ පැවතියක් බවට හඳුනාගෙන ඇත. නෞකාවේ දැනට විසිරී ඇති අවශේෂ අනුව දිග මීටර 23ක් හා පළල මීටර 5.5ක් පමණ වේ.


ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුගාරයේ තැම්පත්කොට ඇති බෝතල්

ඡායාරූප – කණිෂ්ක සාරංග                                        සැලසුම- සුගත් ධර්මවර්ධන

2010 වර්ෂයේ විවෘත කිරීමට යෝජනාව පැවති ගාල්ල සමුද්‍ර පුරාවිද්‍ය කෞතුකාගාරයට අවශ්‍ය වන මුහුද ආශ‍්‍රිත පුරාවස්තු සේවීමේ අරමුණ ඇතිව 2009 වර්ෂයේ මාර්තු මස 22 වන දින සිට අපේ‍්‍රල් 1 වන දින දක්වා මහරාවණ හා කුඩාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ සිඳුකරන ලදි. එහිදී බෝතල් නැව ආශ‍්‍රීතව පර්යේෂණ කැණිමක් සිඳුකරන ලදි. පර්යේෂනයේ දී ඉහත ඡායාරූපයේ දැක්වේන පුරාවස්තූන් මතුපිටට රැගෙන එන ලදි. මෙම පුරාවස්තූන් අද වනවිට ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත.

2011 වර්ෂයේ අපේ‍්‍රල් මස 28 වන දින සිට 30 දක්වා මහාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ කටයුතු රැගෙන යාමට අවස්ථාවක් උදාවිය. නමුත් බෝතල් නැව ආශ‍්‍රිතව පර්යේෂණ රැගෙනයාමට උත්සාහ කළත් මුහුදේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එයට බාධා ඇති කළේය.


බෝතල් නැව ආශ‍්‍රිත දර්ශන, ඡායාරූප – රසික මුතුකුමාරණ 

මහාරාවන තඹ නැව

2008, 2009 හා 2011 යන වර්ෂ වලදී මහාරාවණ ආශ‍්‍රීතව ඉහත විස්තර කළ පර්යේෂණයනට සමකාලීනව තඹ නෞකාව ආශ‍්‍රිත පර්යේෂණ කටයුතු ගෙන ගියේය. මිනුම් ගතකිරීම්, කටු සැලසුම් ඇදීම, ඡායාරූප හා වීඩියෝගතකිරීම ඔස්සේ ක්ෂේත‍්‍රය වාර්තාකරණයට ලක්කරන ලදි. තඹ ආශ‍්‍රිත උපකරණ හා නිෂ්පාදන බහුලව හමුවන නිසා “තඹ නැව” වශයෙන් ප‍්‍රචලිත වී ඇත.

පුරා ක්ෂේත‍්‍රයේ හමුවන අවශේෂ අනුව නෞකාවේ දිග මීටර 34ක් ද, පළල මීටර 6.5ක් පමණ වේ. මීටර 16ක පමණ ගැඹුරක ස්ථානගතව ඇත. ගවේෂණයේ දී විශාල පරිමාණයේ බොයිලෙරුවක් හා එන්ජින් කොටස් සමඟ අවර පෙත්ත ද හඳුනාගැනීමට හැකියාව උදාවිය. 1960 දශකයේ ආතර් සී ක්ලාක් මහාරාවණා හා කුඩාරාවණා පර ආශ‍්‍රිතව කළ දියයට පර්යේෂණයේදි තඹ නෞකාව පිළිබඳව කිසිදු වාර්තාකරනයක් සිඳුකොට නැත.

තඹ නෞකාවේ සැලසුම තඹ නෞකාවේ සැලසුම

තඹ නැව ආශ‍්‍රිත අවශේෂ – ඡායාරූප – රසික මුතුකුමාරණ 

කුඩාරාවණ යකඩ නැව

කිරින්ද සිට මුහුදු සැතපුම් 24ක් පමණ දුරින් කුඩාරාවණාහී තනා ඇති ප‍්‍රදීපාගාරයට මුහුදු සැතපුම් 2ක් පමණ බටහිරට වන්නට ගිලී ඇති මෙම යකඩ නැව මුහුදු බත් වී ඇත්තේ 1971 වසරේ බවට ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

2008 වර්ෂයේදී මහාරාවණ ආශ‍්‍රීතව සිඳුකළ පර්යේෂණයනට සමකාලීනව මෙම නෞකාව ආශ‍්‍රිත පර්යේෂණ කටයුතු ගෙන ගියේය. 2009 වර්ෂයේදී ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුගාගාරයේ ප‍්‍රදර්ශනය කිරීමට මෙම නෞකාවේ පහත ඡායාරූපයේ දැක්වෙන අතිරේක අවර පෙත්ත ගොඩගැනීමට බලාපොරොත්තු උවද, නීතිමය හා තාක්ෂණික ගැටලූ ඇතිවීම හේතුකොටගෙන එය අසාර්ථක විය. මිනුම් ගතකිරීම්, කටු සැලසුම් ඇදීම,ඡායාරූපකරණය හා වීඩියෝගතකිරීම ඔස්සේ ක්ෂේත‍්‍රය වාර්තාකරණයට ලක්කළේ ය. ප‍්‍රමාණයෙන් ඉතා විශාල වන මෙම නෞකාව දිගින් මීටර 130ක් ද, පළලින් මීටර 40ක් ද පමණ වේ. මීටර 12ක් පමණ ගැඹුරේ ක්ෂේෂව ඇති මෙහි නැවට සම්බන්ධකර ඇති අවර පෙත්තට අමතරව තවත් අතිරේක අවර පෙත්තක් හා මනාව ආරක්ෂා වී ඇති එන්ජින් කොටස් ද දැකගත හැකි වේ.

විශේෂයෙන්ම නෞකාව ස්ථානගතව ඇති පරිසරය ආශ‍්‍රිතව පොහොසත් ජෛව විවිධත්වයකින් යුක්ත වේ.

යකඩ නෞකාව් කොටස් ඡායාරූප – රසික මුතුකුමාරණ

එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාව (HMS Daedalus)

කුඩාරවාණා පරය ආශ‍්‍රිතව ගිළී පවතින නෞකාවක් පිළිබඳව සාධක වාර්තා වී ඇත. 2008 වර්ෂයේ රාවණ පරය ආශ‍්‍රිතව පර්යේෂණ ගෙනගිය ද මෙම නෞකාව සම්බන්ධව පර්යේෂණ සිඳුකිරීමට ඵ්ඹ කණ්ඩායමට නොහැකි විය.

නමුත් ඒ පිළිබදව සාහිත්‍යමය තොරතුරු රැසක් හඳුනාගැනීමට හැකි වී ඇත. එම තොරතුරු වලට අනුව ප‍්‍රංශ ජාතිකයන්ට අයත් නාවික යාත‍්‍රාවක් වන මෙය 1811 වර්ෂයේදී බි‍්‍රතාන්‍යන් විසින් අත්පත්කරගන්නා ලදි. අනතුරුව බි‍්‍රතාන්‍ය යුධ කටයුතු සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ. බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ සේවය සඳහා යොදාගත් නෞකාව කාලතුවක්කු 40කින් සමන්විත වී ඇත. සම්පූර්ණ නෞකාවේ බර ටොන් 1094ක් හා දිග අඩි 153ක් වී ඇති බව සඳහන් වේ. එහි කාර්ය මණ්ඩලය 274කි.

1813 වර්ෂයේ ජූලි 2 වෙනි දින උදෑසන 7.45ට පමණ ශ‍්‍රී ලංකාවට අයත් කුඩාරාවණ ගල් පර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගමන්කරමින් තිබියදී අවාසනාවන්ත ලෙස සිය මුහුදුගමන් අවසන් කරමින් ශ‍්‍රී ලංකා මුහුදුතීරයේදී විනාශයට ලක්වූ බව වාර්තා වේ (Clerk and Wilson 1964, 192-197).

නෞකා අනතුර බි‍්‍රතාන්‍ය රජය සසල කරවූ සිදුවීමක් වූ අතර නාවික යාත‍්‍රාවේ විනාශය පිළිබඳව සොයා බැලීමට යුධ අධිකරණයක් ද පත් කර ඇත. එහිදී ඩෙඩලස් නෞකාවේ කපිතාන් වරයා වූ Murray Maxwell සාක්ෂි දුන් අතර ඔහුගේ කරුණු දැක්වීම අනුව එච්. එම්. එස්. ඩෙඩලස් බි‍්‍රතාන්‍ය Spithead වරායේ සිට 1813 ජනවාරි 29 වන දින නැගෙනහිර ඉන්දීය ක්‍දබඩදහ නැවත් සමඟ මාස 5ක පමණ මුහුදු ගමනකින් පසුව 1813 ජුලි 1 දින ගාලූ වරායට පැමිණි බවත් එදිනම සවස දෙවුන්දර තුඩුව පසුකරමින් කුඩාරාවණා ප‍්‍රදේශයට ළගා වු බවත් සඳහන් කරයි(Arthur, Clarke and Wilson 1964, 192-197).

එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාවේ කපිතාන් වරයා වූ Murray Maxwell ලබාදුන් සාක්ෂිය පහත පරිදි වේ. “1813 ජුලි 2 දින උදෑසන අපි රාවණා පර ආශ‍්‍රිත අවධානම් කලාපයේ ගමන්කරමින් සිටින බව දැනිනි. අපේ ඩෙඩලස් නැවට පසුපසින් Convoy නැව ගමන්කරමින් තිබූ අතර උදෑසන 7. 45ට පමණ නැවේ පසුපස කොටස යමක ගැටුණු බව දැණිනිි. එසැනින්ම අපි පසුපසින් පැමිණෙන නැවට අවධානම් කලාපයෙන් ඉවත්වන ලෙස දැනුම් දෙන ලදි. ඉන් අනතුරුව නැවේ සිදුරු වූ ප‍්‍රදේශයෙන් නැව තුළට ගලා එන මුහුදු ජලය ඉවත්කිරීමට කටයුතු කළ ද එය සාර්ථක නොවීය. නැවේ සිටි වඩුවන් ද Convoy නැවේ වඩුවන් ද යොදා ගෙන සිදුරු කොටස් අලූත්වැඩියා කිරීමට කටයුතු කළ ද එය සාර්ථක නොවී ය.

නැව තවදුරටත් බේරාගැනීමට නොහැකි බව වඩුවන් විසින් දැනුම් දීමෙන් අනතුරුව තම සියලූම කාර්ය මණ්ඩලයට ජීවිත බේරාගෙන Convoy නැවට යන ලෙස වේදනා බර විදානයක් දීමය සිදු වූ බව ප‍්‍රකාශකරයි. තමන් මෙතෙක් සේවය කළ නැව හැර යමා තීරණය කළ බවත් නමුත් තමාගේ බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ නැව රැකගෙන ත‍්‍රීකුණාමලය වරාය වෙත රැුගෙන යාම බවයි” (Clerk and Wilson 1964, 192-197). පළමු කොටස නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය – පළමු කොටස

ආශ‍්‍රිත මූලාශ‍්‍ර නාමාවලිය
Interview by A.M.A Dayananda. (1997).

Clarke, Arthur C. The Reefs of Taprobane: Underwater Adventures Around Ceylon. New York: Harper & Brothers, 1957.

The Tresure of the Great Reef: Fully Illustrated in Color and Black and White. New York: Ballantine, 1974.

Clerk, Arthur C, and Mike Wilson. The Treasure of the Great Reef. New York: Harper & Row, 1964.

Dayananda, AMA, and Mahinda Karunarathna. http://si.archaeology.lk/?p=3095. August 2012.

http://www.si.archaeology.lk/?p=3095 (accessed August 2012).

Green, Jeremy. “Sri Lanka Maritime Archaeology Programe: Galle Harbour 1992-1997.” Paper from the Seminar Galle- A Port City in History. Australian National Centre for Excellence in Maritime Archaeology, 1997. 6-10.

Jayatilaka, Gihan. “Maritime Archaeology in Sri Lanaka 1960-1997.” Paper from the Seminar Galle-A Port City in History. Australian National Centre for Excelence in Maritime Archaeology , 1997. 4-5.

Silva, Ranasinghe, and & etal. The Natinal Atlas of Sri Lanka. Colombo, Sri Lanka: Survey Department of Sri Lanka, 2007.

Team, MAU. MAU Dive Records 2009. Un Published, 2009.

ගොඩකුඹුර, චාල්ස්. මුහුදු පත්ලේ පුරාවිද්‍යාව. 1962-63 මුදල් වරෂය සදහා පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව, කොළඹ 7: පුරවිද්‍ය දෙපාර්තමේන්තුව, 1964. විජේබණ්ඩාර, කි‍ෂ්ණ. චතුදිශ රුසිරුදුටුවෙමිගොඩපවත් පටුන් මනොරමේ. කොළඹ 10: සූරිය පකාශකයෝ, 2011.

නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය – පළමු කොටස

සටහන ඒ.එම්.ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න

 

මුහුදු පුරාවිද්‍යා ඒකකය,

මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල

 

හැදින්වීම

ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ තිස්සමහාරාම ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් කිරින්ද හා යාල මුහුදු සීමාව ආශ‍්‍රිතව මහාරාවණා හා කුඩාරාවණා පරයන් ස්ථානගතව ඇත(Silva and etal 2007, 155,191,192). සිංහල හා දෙමළ ජනතාව ස්ථානය රාවණා පරය ලෙසින් හඳුන්වනු ලැබේ. එහෙත් ඉංගිරීසි භාෂාවෙන් හඳුන්වනුයේ Great Basses ලෙසින් වේ. Basses යන්න පෘතුග‍්‍රීසි වදනක් වන Baxios යන්නෙන් බිදී ආවක් ලෙසින් සැලකෙයි. එහි අර්ථය “පරය”(Reef or Shoal) යන්න වේ. ඒ අනුව Great Basses යන්නෙහි සරළ අර්ථය Great Reef (මහාපරය) යන්න ය. (Clerk and Wilson 1964, 12).

ඈත අතීතයේ සිටම නාවිකයන්ට මහත් හිසරදයක් වූ මහාරාවණ හා කුඩාරාවණ ගල් පර දෙක ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වේ. එකිනෙකට නිශ්චිත දුරකින් පිහිටියා වූ මෙම පර දෙක හිරිගලින් නිර්මාණය වූවකි. කිරින්දේ සිට කිලෝමීටර 15ක් පමණ දුරින් පිහිටි මහාරාවණ පරය කිලෝමීටර 25ක පමණ දුරට විහිදී ඇත. එමෙන්ම කිරින්දේ සිට කිලෝමීටර 22 ක් පමණ දුරින් පිහිටි කුඩා රාවණ ගල් පරයේ දිග කිලෝමිටර 35ක් පමණ ය (Silva and etal 2007, 21). නැගෙනහිර බටහිර ලොව සම්බන්ධකරවන ජාත්‍යන්තර නාවික මාර්ගය මෙම පර පන්තීන් අසලින් වැටී තිබීම හේතුවෙන් අනාදිමත් කාලයක සිට සිදු වූ නාවික හා ජීවිත අනතුරු ප‍්‍රමාණය කෙතෙක් දැයි ප‍්‍රකාශ කළ නොහැක.

මහාරාවණා හා කුඩාරාවණා පරයන්හී ස්ථානගතවීම(Clerk and Wilson 1964, xviii)

දිගින් දිගටම රාවණා පරයන්හී ගැටී නාවික අනතුරු බහුල ව සිදුවීම පිළිබදව අවධානය යොමුකළ එකළ ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍යය රජය මෙම අනතුරුවලින් ගැලවීමට සැලසුම් සැකසී ය. ඒ අනුව රාවණාපරයන්හී ගැටී නෞකා විනාශය පිළිබදව පර්යේෂණ කිරීමට ශ‍්‍රීමත් ජේ. ජේ. බ්‍රේමර් හා කපිතාන් ඩබ්ලිවි. එස්. ඩෝසන් පත්කෙරිණි. මේ පිළිබදව පර්යේෂණ කළ ඔවුන් ඉන් වැළකීම සඳහා යෝජනා ඉදිරිපත්කරන්නට විය. ඒ අනුව, දෙවුන්දර තුඩුවේ පහන් ටැඹක් ද, ත‍්‍රීකුණාමලයේ නාවික කොඩි කුළුණක් ද, මහාරාවණා කොටුවේ බීකන් පහන් කණුවක් ද, එයට අමතරව කුඩා රාවණා කොටුවේ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම ද යනා දී යෝජනාවන් ඉදිරිපත් කොට ඇත (විජේබණ්ඩාර 2011, 161).

එම යෝජනා අතරින් කඩිනමින් ක‍්‍රියාත්මක කළ හැකිව තිබූ යෝජනාවක් වූ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම යන අදහස අනුව යමින්, සංඥා නිකුත්කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා පරය ආශ‍්‍රිතව නවතා තැබීමට තීරණය විය. එහි කපිතාන් ලෙසට බුවනන් පත්කරණ ලදි. ඔවුන් ගොඩබිම හා නෞකාව අතර සම්බන්ධතාවය පවත්වා ගනු ලැබුයේ සංඥා නෞකාවේ පැවති කුඩා යාත‍්‍රාවක් මඟිනි. කපිතාන් බුවනන් හා පිරිස ඉතාමත් කටොර හා අවධානම් රජාකාරියක යෙදීමෙන් රාවණා පර පන්තිය සිට අනගි මෙහෙයක් ඉටුකළ ද ඔවුන්ගේ එම රාජකාරිය එතරම් පහුසු කටයුත්තක් නොවීය. වරක් නෞකාවේ සිට ගොඩබිමට ගිය පිරිසක් පොත්තන වෙරළ තීරයේදී අතුරුදහන් වී ඇත. තවත් විටෙක කපිතාන් බුවනන් ඇතුලූ පිරිස ගමන්ගත් යාත‍්‍රාව ගල් පරයක වැදී පෙරලී ඇති අතර එහි ගමන්ගත් දෙදෙනකු මියගිය බවත් බුවනන් ඇතුලූ ඉතිරි පිරිස පිහිනා දිවි බේරා ගෙන ඇති බවත් සඳහන් වේ. එමෙන්ම මෙම නෞකාවෙන් සපයන සේවය වෙනුවෙන් එහි සේවය ලබාගන්නා නෞකාවන්ගෙන් බඳු මුදලක් ලබාගන්නා ලදි. මේ තුලින් වසරකට පවුම් 1300ක මුදලක් ඉපැයු බව පැවසේ (විජේබණ්ඩාර 2011, 161-162).

සංඥා නිකුත් කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා ආශ‍්‍රිත නවතා සිඳුකළ සේවය එතරම් සර්ථක නොවීමෙන් කඩිනමින් ස්ථාවර ප‍්‍රදීපාගාරයක අවශ්‍යතාව මතුවිය. ඒ අනුව මෙම කලාපය පාලනය කළ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් පේලෝ කඩිනමින් රාවණාපරයේ ප‍්‍රදීපාගාර කුළුණූ ඉදිකරණ ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ ය. බි‍්‍රතාන්‍ය රජය එම ඉල්ලීම පිළිගනිමින් පවුම් 40000ක (ඩොලර් 250, 000) මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරණ ලදි. නමුත් වසර 3ක පමණ පරිශ‍්‍රමයක් දැරුව ද ඔවුනට හැකි වූයේ කොඩි කුළුණක් ඉදිකිරීමට පමණක් වී ඇත (Clerk and Wilson 1964, 13). ඒ අනුව බි‍්‍රතාන්‍යයේදීම යකඩින් නිර්මාණය කළ විදුලි ලාම්පුවක් සහික කුළුණු කොටස් ගාලූ වරායට නැව් මඟින් ගෙනෙනු ලැබූව ද, රාවණා පර පන්තිය වෙත ගෙනයෑමට කළ උත්සහය අසාර්ථක වී ඇත. අනතුරුව එය බහමාස් දුපතේ (කැරිබියන් දුපත් ආශ‍්‍රිත) ඉදිකරනු ලැබූ බව සඳහන් වේ (Clerk and Wilson 1964, 13, විජේබණ්ඩාර 2011, 163).

මුල් උත්සහය අසාර්ථකව අතහැර දැමුව ද ප‍්‍රදීපාගාරයක් ඉදිකිරීමේ කටයුතු අතහැර දැමීමට බි‍්‍රතාන්‍යයේ රජය සුදානම් නොවී ය. ඒ අනුව දෙවන ව්‍යාපෘතිය ආරම්භකරමින් ඉදිකිරීම් කටයුතු සඳහා ප‍්‍රදීපාගාර ඉන්ජිනේරුවකු වූ ජේ. එන්. ඩග්ලස් (J. N. Douglass) වෙත පවරන ලදි. මේ සඳහා බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක ටි‍්‍රනිටි හවුස්(Trinity House) ආයතනය සහයෝගය ලබා දී ඇත. ප‍්‍රථමවරට විදුලිය සොයාගත් මයිකල් ෆැරඬේගේ (Michael Faraday) සහයෝගය ඇතුව ප‍්‍රදීපාගාරයේ විදුලි පහණ නිර්මාණය කරනු ලැබීය (Clerk and Wilson 1964, 13).

ස්කොට්ලන්තයේ දී කපා සකස් කොට ගත් ටොන් 2 හෝ 3 බරැති ගල් කුටිටි දහස් ගණනක් නැව් මඟින් ගාලූ වරායට ගෙනවිත් ගාල්ලේ සිට නෞකා මඟින් රාවණා පරය වෙත ගෙනයන ලදී. එහිදී රාවණා පරයේ සවිකළ දොඹකරයක් ආධාරයෙන් ගල් කුට්ටි හිරිගල් පරය මතතබා ප‍්‍රදීපාගාරයේ ඉදිකිරීමේ කටයුතු 1870 දී ආරම්භ කොට ඇත. මෙසේ ඉතා දුෂ්කර තත්ත්වයේ ඉදිකළ ප‍්‍රදීපාගාරයේ ප‍්‍රථම ආලෝක ධාරාව විහිදුවාලීම 1873 වර්ෂයේ මාර්තු10 දින සිදුවී ඇත (Clerk and Wilson 1964, 14).

(Clerk and Wilson 1964, 46-47)

ඉන් අනතුරුව 1878 වර්ෂයේ දී ජේ. එන්. ඩග්ලස් මහතාගේ සොහොයුරු විලියම් ඩග්ලස් ඉජිනේරු මහතාගේ උපදෙස් පරිදි කුඩා රාවණා ප‍්‍රදීපාගාරය ඉදිකරණ ලදි. මෙම ප‍්‍රදීපාගාරවල සේවාව මහා බි‍්‍රතාන්‍යයේ ඉම්පීරියල් ප‍්‍රදීපාගාර සේවාව(Imperial Light House Service) මඟින් පවත්වා ගෙන යන ලදි (Clerk and Wilson 1964, 15, විජේබණ්ඩාර 2011, 165) 1976 දී මෙම සේවා කටයුතු ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගනු ලැබූ අතර දැනට එම කටයුතු ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබයි. මෙම ප‍්‍රදීපාගාර ඉදිකිරීම ආසන්න මුහුදු කලාපයෙන් ගමන්ගන්නා දේශීය හා ජාත්‍යන්තර නාවිකයන්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.

රාවණාපර ආශ‍්‍රිත දියයට පුරාවිද්‍යා පර්යේෂණ සංක්ෂිප්තය

ප‍්‍රවීන විද්‍යා ප‍්‍රබන්ධ ගත්කරුවකු වන බි‍්‍රතාන්‍ය හා ශ‍්‍රී ලංකේය ජාතිකයෙකු වන ආතර් සී ක්ලාක් මහතා ඔහුගේ මිතුරන් වූ මයික් විල්සන් (Mike Wilson) හා රොඞ්නි ජොන්ක්ලස් (Rodeney Jonklaas) සමඟ අවස්ථා කීපයකදීම රාවණාපර ආශ‍්‍රිතව කිමිදෙමින් විවිධාකාර ගවේෂණ කටයුතුවල නියැලී ඇත. මෙම ගවේෂණයන්ගෙන් අනතුරුව ක්ලාක් හා මයික් විල්සන් විසින් The Treasure of the Great Reef නමැති ග‍්‍රන්ථය 1964 වර්ෂයේ රචනා කරන ලදි.

(Clarke 1957:82-83) (වමේ සිට දකුණට – ආතර් සී ක්ලාක්, මයික් විල්සන් හා රොඞ්නි ජොන්ක්ලස්  වමේ සිට දකුණට – ආතර් සී ක්ලාක්, මයික් විල්සන් හා රොඞ්නි ජොන්ක්ලස් )

The Treasure of the Great Reef ග‍්‍රන්ථයේ පිටකවරය The Treasure of the Great Reef ග‍්‍රන්ථයේ පිටකවරය

1974 වර්ෂයේ දී ක්ලාක් විසින් සංස්කරණය කළ කෘතියේ පිටකවරය 1974 වර්ෂයේ දී ක්ලාක් විසින් සංස්කරණය කළ කෘතියේ පිටකවරය.

ක්ලාක් විසින් 1974 වර්ෂයේ The Treasure of the Great Reef කෘතිය සංස්කරණය කරමින් වර්ණ හා කලූ සුදු ඡායාරූප රැසක් සහිතව ප‍්‍රකාශයට පත්කොට ඇත. ලාංකේය මුහුදු පතුලේ පුරාවිද්‍යා පර්යේෂණයක් ප‍්‍රථම වරට සිඳුකරන ලද්දේ 1962-63 වර්ෂයේදී ය. එහිදී ක්ලාක් ඇතුළු කණ්ඩායම විසින් ක‍්‍රමාණුකූල පර්යේෂණයක් සිදුකළේය. එම පර්යේෂණ සඳහා එවකට පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතාගේ විශාල සහයෝගයක් හිමි වු බව ක්ලාක් මහතා සඳහන් කොට ඇත. මෙම පර්යේෂණය සඳහා මුහුදු පුරාවිද්‍යාවේ විශේෂඥයකු වූ පීටර් ත්‍රෝක්මෝටන්(Peter Throckmoton) සහභාගි විය (ගොඩකුඹුර 1964, 39-40, Clerk and Wilson 1964, 104). එය ශ‍්‍රී ලංකාවේ දියයට පුරාවිද්‍යා කටයුතු සඳහා මුහුදු පුරාවිද්‍යාඥයකුගේ මැදිහත් වීමට ලක්වුණූ ප‍්‍රථම අවස්ථාව ලෙසින් දැක්විය හැකිය. Peter Throckmoton ඇතුළු කණ්ඩායම එම පර්යේෂනයේදී අඳින ලද සැලසුම පහත දක්වා ඇත.

(Clarke, The Treasure of the Great Reef: Fully Illustrated in Color and Black and White 1974, 275)

මහාරාවණා ආශ‍්‍රීත නෞකාව දක්වන සැලසුම
(Clarke, The Treasure of the Great Reef: Fully Illustrated in Color and Black and White 1974, 274)

1993 වර්ෂයේ දී බටහිර ඕස්ටේ‍්‍රලියානු මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරයේ (Western Australian Maritime Museum) මහාචාර්ය ජෙරමි ග‍්‍රීන් ඇතුළු කණ්ඩායම ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ ආරාධනය පරිදි අතිරේක ගවේෂණයක් ලෙස මහාරාවණ පරය ආශ‍්‍රිත ගිලී ගිය නෞකා පිළිබඳව ඉතා කෙටි පර්යේෂණයක් සිඳුකරන ලදි. එම කණ්ඩායම විසින් ස්ථානයේ හමුවන පුරාවස්තු වාර්තාකරණයට ලක්කොට ඇත (Green 1997, 7).

ජෙරමි ඇතුළු කණ්ඩායම ලබාගන්නා ලද ඡායාරූපයකි (Green 1997, 7)

1997 වර්ෂයේ නොවැම්බර් මස 15 දින ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බටහිර ඔස්ටේ‍්‍රලියානු කෞතුකාගාරය හා ඇමස්ටර්ඩර්න් විශ්වවිද්‍යාලය එක්ව ගෙනගිය සම්මන්ත‍්‍රණයේදී නිකුත්කළ ලිපි සහිත වාර්තාව වන “Paper from the Seminar Galle- A Port City in History” හී රාවණාපර ආශ‍්‍රිතව හමුවුණ කාලතුවක්කුවක සැලසුමක් දක්වා ඇත. එහි දක්වා ඇති විස්තරයට අනුව එය 1993 වර්ෂයේ පෙබරවාරි මස අදින ලද සැලසුමක් වේ. ලෝකඩයෙන් නිපදවා ඇති මෙම කාලකුවක්කුවෙහි මතුපිට බතාවියා(BATAVIA) ලෙස ඉංගිරීසි අක්ෂරයෙන් සටහන් කොට ඇත. මෙම කාල තුවක්කුවේ නූතන ස්ථානගතවීම තංගල්ල ලෙසින් ද සඳහන්වේ. එය ගේ‍්‍රටි බාසස් බතාවියා කාලතුවක්කුව (Great Basses ‘Batavia’ Gun) ලෙසින් නම්කොට ඇත.


ගේ‍්‍රටි බාසස් බතාවියා කාලතුවක්කුව(Jayatilaka 1997, 5)

මෙම කාලතුවක්කුව 1997 වර්ෂයේ දී සිඳුකළ පර්යේෂණයේ දී තංගල්ල නගරයේ මිහිඳු මාවතේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසක දක්නට ලැබුණි. මෙම වෛද්‍යවරයා 1960 දශකයේදී ආතර් සී ක්ලාක් ඇතුළු කණ්ඩායම සමඟ මහාරාවණා ආශ‍්‍රිතව කිමිදුම් කටයුතු කොට ඇති බවත් එම අවස්ථාවේ දී මෙම කාලතුවක්කුව රැගෙන ආ බවත් එතුමාගේ පුතා විසින් මෙම ලිපියේ පළමු කර්තෘ සමඟ පෞද්ගලිකව ප‍්‍රකාශ කොට ඇත (1997).

ආශ‍්‍රිත මූලාශ‍්‍ර නාමාවලිය

Interview by A.M.A Dayananda. (1997).

Clarke, Arthur C. The Reefs of Taprobane: Underwater Adventures Around Ceylon. New York: Harper & Brothers, 1957.

The Tresure of the Great Reef: Fully Illustrated in Color and Black and White. New York: Ballantine, 1974.

Clerk, Arthur C, and Mike Wilson. The Treasure of the Great Reef. New York: Harper & Row, 1964.

Dayananda, AMA, and Mahinda Karunarathna. http://si.archaeology.lk/?p=3095. August 2012. http://www.si.archaeology.lk/?p=3095 (accessed August 2012).

Green, Jeremy. “Sri Lanka Maritime Archaeology Programe: Galle Harbour 1992-1997.” Paper from the Seminar Galle- A Port City in History. Australian National Centre for Excellence in Maritime Archaeology, 1997. 6-10.

Jayatilaka, Gihan. “Maritime Archaeology in Sri Lanaka 1960-1997.” Paper from the Seminar Galle-A Port City in History. Australian National Centre for Excelence in Maritime Archaeology , 1997. 4-5.

Silva, Ranasinghe, and & etal. The Natinal Atlas of Sri Lanka. Colombo, Sri Lanka: Survey Department of Sri Lanka, 2007.

Team, MAU. MAU Dive Records 2009. Un Published, 2009.

ගොඩකුඹුර, චාල්ස්. මුහුදු පත්ලේ පුරාවිද්‍යාව. 1962-63 මුදල් වරෂය සදහා පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව, කොළඹ 7: පුරවිද්‍ය දෙපාර්තමේන්තුව, 1964. විජේබණ්ඩාර, කි‍ෂ්ණ. චතුදිශ රුසිරුදුටුවෙමිගොඩපවත් පටුන් මනොරමේ. කොළඹ 10: සූරිය පකාශකයෝ, 2011.

නැ‍‍ඟෙනහිර මුහුදු පුරාවිද්‍යා ගවේෂණයේ නව අනාවරණ III-2012

ඒ. එම්. ඒ දයානන්ද1 හා මහින්ද කරුණාරත්න1

 

ඡායාරූප : නන්දදාස සමරවීර1, මහින්ද කරුණාරත්න2 හා යසස් සෙනරත් වීරකැටිය2

1මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල.

2මහ උරුමය සංවිධානය.

හැදින්වීම

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය ගෙනගිය ගවේෂණයේ තෙවන අදියර මඩකලපුව සිට අම්පාර දිස්ත‍්‍රීක්කයේ පොතුවිල දක්වා වූ මුහුදු තීරය තෙක් ව්‍යාප්ත කෙරිණි. 2012 වර්ෂයේ අගෝස්තු මස 19 වන දින සිට 24 වන දින දක්වා සිදුකළ මෙම පර්යේෂණයේදී ගිලීගිය නෞකා 5ක් සම්බන්ධ සාධක හා පොතුවිල මුහුදු මහාවිහාරය ආශ‍්‍රිත දියයට පුරාවිද්‍යා සාධක අනාවරණය කොට ගැනීමට හැකි විය.

1 අක්කෙරෙයිපත්තු බොයිලර් නෞකාව (Akkareipattu Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ අට්ඨාලචේන ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයෙන් තවත් නෞකාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවිය. එම නෞකාව වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන නෞකාවක් ලෙසින් හඳුනාගැනිනි. වෙරළට ඉතා සමීපයේ මුහුදු බත්ව ඇති නෞකාවේ අඩක් වෙරළ ආශ‍්‍රිත වැල්ලෙන් වැසී ඇති අතර ඉතිරි කොටස මුහුදු ජලයෙන් වැසී ඇත. මෙහි විධිමත් පර්යේෂණයක් සිඳු නොවුව ද, ස්නෝක්ලින් කොට සිඳුකළ ගවේෂණයේ දී නැවේ අවශේෂ හඳුනාගැනීමට හැකි විය. එහි දී බොයිලේරු කිහිපයක් දක්නට ලැබුණි. ඉදිරියේ දී මේ ආශ‍්‍රිත වැඩිදුර පර්යේෂණ ගෙන යා යුතු ව ඇත. ජේ. යෝගරාෂා මහතා ගේ මඟපෙන්වීම මෙම අනාවරණය සඳහා මහත් පිටුවහලක් සැපයී ය.

තිරුක්කෝවිල ප්‍රදේශය ආශ‍්‍රිත නෞකා

2 තිරුක්කෝවිල වාෂ්ප නෞකාව (Tirukkovila Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ තිරුක්කෝවිල ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ විනයාගපුරම් ග‍්‍රාමයේ තිරුක්කෝවිල මුහුදු තීරයේ සිට කිලෝමීටර ක් පමණ මුහුදේ මීටර 7ක පමණ ගැඹුරක ස්ථානගත ව ඇති නෞකාවක් වේ. ජලයේ අයහපත් දෘෂ්‍යතාව (Visibility) හා දින 1ක පර්යේෂණ කාලරාමුවකට යටත්වීම මත නෞකාවේ සම්පූර්ණ හැඩය පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට නොහැකි විය. කෙසේ වුව ද යම් යම් සාධක අනාවරණය කොටගැනීමට හැකි විය.

ජයතිලක සිල්වා මහතා                    අනුර සිල්වා මහතා

වාෂ්ප බලයෙන් (Boiler Wreck) ක‍්‍රියාත්මක වන නාවික යාත‍්‍රාවක් වන අතර එයට අයත්බොයිලේරු ක් දැකගතහැකි වේ. අවරපෙත්ත සොයාගැනීමට නොහැකි වූ අතර එය යකඩ එකතු කරන්නන් (Treasure Hunters) විසින් රැගෙන ගිය බවට පසුව අනාවරණය කොට ගත හැකි විය (සම්මුඛ සාකච්ඡා: 2012.08.19). පුරාක්ෂේත‍්‍රය ඡායාරූපමය වාර්තාකරණයකට ලක්කළ ද ජලයේ දෘෂ්‍යතාවේ අවම වීම එයට බාධා ඇති කළේ ය. දළ සටහන් නිර්මාණ හා මිනුම්ගත කිරීමට නොහැකි විය. නෞකාව පිළිබඳ මූලික තොරතුරු ගවේෂණයේ දී ප‍්‍රදේශයේ ධීවරයන් වන ජයතිලක සිල්වා හා අනුර සිල්වා යන මහතුන්ගෙන් මහත් සේවයක් සැලසිණි.

3 තිරුක්කෝවිල යකඩ නෞකාව (Tirukkovila Iron Wreck)

තිරුක්කෝවිල ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ විනයාගපුරම් ග‍්‍රාමයේ තිරුක්කෝවිල මුහුදුතීරයට ඉතා ආසන්න කලාපයේ ස්ථානගත ව ඇති යකඩ නෞකාවක් වේ. නෞකාවේ කොටස් කිහිපයක් ජලයෙන් මතුපිටට පැමිණ පෙනෙන අතර එය යකඩ එකතුකරන්නන් විසින් විනාශ කොට ඇත. ප‍්‍රදේශයේ ජනතාවගෙන් ලබාගත් තොරතුරු අනුව එය මෑතක දී ගිලීගිය යාත‍්‍රාවක් බවට තහවුරු විය.

පොතුවිල ආශ‍්‍රිත නෞකා

4 කෝමාරි වාෂ්ප නෞකාව (Komari Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ පොතුවිල ප‍්‍රදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ කෝමාරි මුහුදු තීරයේ සිට කිලෝමීටර 4ක් පමණ මුහුදේ මීටර 8ක පමණ ගැඹුරක මෙම නෞකාවේ අවශේෂ දැකගත හැකි වේ. ජලයේ දෘෂ්‍යතාව අවම තත්ත්වයක් තුළ පර්යේෂණය ගෙනගිය ද එහි දී බොයිලේරු 3ක පමණ සාධක අනාවරණය කොටගත හැකි විය. අවර පෙත්ත හා රඩර් එක ආරක්ෂාව පවතී.

මෙම ක්ෂේත‍්‍රය ඡායාරූපමය වාර්තාකරණය, දළ සැලසුම් ඇදීම හෝ මිනුම්ගත කිරීමට අයහපත් කාලගුණය නිසා නොහැකි විය.

5 ඔමරි වාෂ්ප නෞකාව (Omari Boiler Wreck)

ඉහත විස්තර කළ කෝමාරි වාෂ්ප නෞකාව පිහිටි කලාපයේ ඔමරි මුහුදු තීරයේ සිට කිලෝමීටර 5ක් පමණ මුහුදේ ස්ථානගත ව ඇති නෞකාවක් වේ. ඡායාරූපයම වාර්තාකරණය හා දළ සැපසුම් නිර්මාණය මෙහි දී සිදුවිය. නෞකාවේ ඉදිරිපස කොටස (Bow) මීටර 7ක පමණ හා පිටුපස කොටස (Stern) මීටර 18ක පමණ ගැඹුරක ස්ථානගත ව ඇත.

පර්යේෂණයේ දී නෞකාවට අයත් බොයිලේරු 3ක සාධක අනාවරණය වූ අතර නෞකාවේ විවිධ කොටස් පැතිරී ඇති ආකාරය දැකගත හැකිවිය. නෞකාව විශාල වශයෙන් හානි වී ඇති බව පෙනේ.

4 පොතුවිල මුහුදු මහාවිහාරය ආශ‍්‍රිත නව මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ

2012 වර්ෂයේ අගෝස්තු මස 20 වන දින සිට 24 දින දක්වා මෙම පර්යේෂණ රැුගෙන ගියේ ය.

1 ස්ථානගතවීම

අම්පාර දිස්ත‍්‍රීක්කයේ පොතුවිල් ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ, අංක 03-P/03 පොතුවිල් ග‍්‍රාම නිලධාරි වසමේ, උතුරින් අක්ෂාංශ 6052.4.61 හා නැගෙනහිර දේෂාංශ 81050.20.56 අතර කලාපයේ ස්ථානගත ව ඇත. පොතුවිල් නගරයේ සිට පානම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන්කොට එහි සිට වමට මීටර 750ක් පමණ ගමන් කිරීමෙන් මුහුදු මහාවිහාරයට පැමිණිය හැකි ය.

ශ්‍රී ලංකාව තුළ මුහුදු මහා විහාරයේ ස්ථානගත වීම

2 පරිපාලනය

මුහුදු මහාවිහාරයේ ගරු විහාරාධිපතීන් වහන්සේ වන පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමියන් යටතේ පරිපාලනයට ලක්වන විරාරස්ථානයක් වේ. 2010 වර්ෂයේ සිට විහාරාධිපති හිමි ලෙසින් කටයුතු කරයි ( දුරකතනය : 063 373 0612). පූජ්‍ය කතරගම සිරිරතන හිමි 2010 අපේ‍්‍රල් මස 11 වෙනි දින දක්වා විහාරාධිපතීන්වහන්සේ ලෙසින් කටයුතු කොට ඇත. උන්වහන්සේ ගේ සහායට ගෝල හිමි නමක් ලෙසින් විහාර වාසි පූජ්‍ය උඩලමත්තේ රත්නප‍්‍රිය හිමි කටයුතු කරනු ලැබේ. ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පරිපාලනයට ලක්වන පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසින් නම්කර ඇත.

පූජ්‍ය කතරගම සිරිරතන හිමි                           පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමි

3 ඓතිහාසික පසුබිම

ජනප‍්‍රවාද

මුහුදු මහාවිහාරයේ ඉතිහාසය පිළිබඳ ව නිශ්ච්ත අදහසක් ප‍්‍රකාශ කිරීම සඳහා පැහැදිලි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක දක්නට නොමැත. නමුදු ප‍්‍රදේශයේ හමුවන ජනප‍්‍රවාදයනට අනුව විහාරයේ ඉතිහාසය කාවන්තිස්ස රජ සමය දක්වා ගමන් ගන්නා බව පැහැදිලි වේ. කල්‍යානි පුරවරයේ පාලනය ගෙනගිය කැලණිතිස්ස රජු තම දූ කුමරිය වන විහාර මහා දේවි කුමරිය නෞකාවක නංවා සයුරට පා කොට හැර ඇති අතර සයුරෙහි පාවෙමින් පැවති කුමරිය රැගත් නෞකාව අවසානයේ සේන්දු වී ඇත්තේ මුහුදු මහා විහාරය පිහිටි ස්ථානයට ය. මේ සමයේ කාවන්තිස්ස රජුගේ අණසක යටතේ පැවති මේකී ප‍්‍රදේශයේ වැසියන් රාජකුමරියක් රැගත් අලංකාර නෞකාවක් වෙරළ ට සේන්දු වී ඇති බව රජවාසලට වහා ම දැනුම් දෙන ලදි. ඒ පුවත ඇසු කාවන්තිස්ස රජ වාසලින් මුහුදු මහා විහාරය බලා පිටත් වී ඇත. එසේ පැමිණෙන අතර රජ “කෝ කුමරිය” යැයි රාජ පුරුෂයන්ගෙන් විමසූ ස්ථානය අද කෝමාරිය ලෙස හඳුන්වන බවත් එයට පිළිතුරු දුන් රාජ පුරුෂයන් කුමරිය සිටින්නේ අන්න “අර ගමේ” යැයි පැවසු හෙයින් මෙම ප‍්‍රදේශය ආරුගම් වූ බවත් ජනප‍්‍රවාදය ප‍්‍රකාශකරයි (මහඋරැමය 2011,1). අනතුරු ව මෙහි පැමිණ විහාර මහා දේවිය මුණ ගැසුණු කාවන්තිස්ස රජතුමා එතුමිය රාජ මන්දිරයට කැදවාගෙන යාමට ප‍්‍රථම සඳුන් පැන් කල හතකින් ස්නානය කරවා එසේ සිඳුකළ ස්ථානයේම එතුමිය සතුව පැවති සියලූ ආභරණ තැම්පත් කර වූ බව ද සඳහන් වේ (මහඋරුමය 2011,2).

ඓතිහාසික මූලාශ‍්‍ර

මහාවංශයට අනුව මුහුදු මහා විහාරය කරවන ලද්දේ කාවන්තිස්ස රජුට බොහෝ කලකට පසු රාජ්‍යත්වයට පත් මහාදාඨික මහානාග (මහදැලියා) රජතුමා විසිනි. ර්‍ණවිධානයෙහි පණ්ඩිත වූ රජ තෙමේ නන්වැදෑරුම් සරුප් බඩු දී තමනුත් සෙස්සනුත් සංඝයාගෙන් මුදාගත්තේ ය. ජනාධිනාථ තෙමේ රුහුණු ජනපදයෙහි කාලායන කර්ණිකා නම් තැන මිණිනා පව් නම් විහාරයක් දකරවී ය. කුඹුක්ඛන්ධන නම් හෝ තෙර මුහුදු විහාරය ද, රුහුණම හුවාව කර්ණික නම් තැන චූලානාග ණම් විහාරය ද (කරවී ය)” (මහඋරැමය 2011, 2, මහාවංශය 2004,149). මහාවංශය දක්වන කුඹුක්කන් ඔය හෝ හොය තෙරෙහි පිහිටි මුහුදු මහා විහාරය හා මෙම අධ්‍යනිත මුහුදු විහාරය එකමයැයි ස්ථිර ලෙස ප‍්‍රකාශකිරීමට නොහැකි ය.

පුරාවිද්‍යා මූලාශ‍්‍ර

කලාපයේ ඓතිහාසික පසුබිම ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා ගමන් ගන්නා බව පෙනේ. මුහුදු මහා විහාරය ස්ථානගත වන්නේ රෙඞ් අර්ත් (Red Earth) හෙවත් රතු පස් ස්ථරය හෝ ඉරණමඩු පස් තැම්පතු (Iranamadu Formation) ලෙස ඒ. එච්. වේලන්ඞ් හා එස්. යූ. දැරණියගල හඳුන්වාදෙන කලාපයේ වේ. මේම පස් ස්ථරයයෙන් හමුව ඇති ශිලා මෙවලම් ශ‍්‍රී ලංකාවේ පහළ පැලියොලිතික හා මෙසොලිතික යුගයට අයත් ශිලා මෙවලම් ලෙසින් හඳුනාගෙන ඇත (Deraniyagala 1992, 33-43). මුහුදු මහාවිහාරයේ පවතින වෙනත් පුරාවිද්‍යාත්මක අවශේෂ අනුව එහි ඉතිහාසය ක‍්‍රිස්තු වර්ෂ 7 හෝ 8 සියවස් දක්වා ගමන් ගන්නා බව පෙනේ.

1 පුරාවිද්‍යාත්මක පසුබිම

විහාර පරිශ‍්‍රයේ පුරාවිද්‍යාත්මක හා වාස්තුවිද්‍යාත්මක අගය පිළිඹ්බු කරණ ගෘහනිර්මාණාත්මක අංග ප‍්‍රධාන වශයෙන් 4ක් පමණ දැකගත හැකිවේ. තවත් පුරාවිද්‍යා අංග කීපයක් වැලි කදු අතර සැග ව ඇති බව පෙනේ. 1. ප‍්‍රතිමාගෘහය, 2. පොහොය ගෙය, 3. චෛත්‍ය නටඹුන් හා 4. පොකුණ හා වෙනත් නටඹුන් යනු ස්ථානයේ පවතින ප‍්‍රධාන පුරාවිද්‍යා අංගයන් වේ

1. ප‍්‍රතිමා ගෘහය

විහාර පරිශ‍්‍රයේ පවතින වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා ආගමික අගය වඩාත්ම දනවන නිර්මාණය වනුයේ ප‍්‍රතිමාගෘහයයි. එහි සරළ සැලසුම පහත පරිදි වේ.

 

මුහුදු මහා විහාරයේ පිළිම ගෙයි සැලැස්ම

එහි අංක 10 මඟින් නිරූපණය වනුයේ ප‍්‍රතිමා ගෘහයේ පිටත ප‍්‍රාකාරය වේ. එය පැරණි ගඩොලින් ගොඩනගා ඇති බව පෙනේ. එහි බටහිර හා උතුරු බැමි පැහැදිලි ව ප‍්‍රදර්ශනය වුවත් නැගෙනහිර හා දකුණු බැමි වැල්ලෙන් වැසී ඇති බව පෙනේ. එහි ප‍්‍රවේශයන් හඳුනාගැනීමට නොහැකි ය. ප‍්‍රාකාරයේ බටහිර පරිශ‍්‍රයේ දකුණූ දෙසින් ගල් කණු කිහිපයක් දැකගත හැකි වේ’. ඉහත සටහනේ අංක 9 මඟින් නිරූපණය කොට ඇත. එහි යම් ආකාරයක ගොඩනැගිල්ලක් ස්ථානගත ව පැවති බව පෙනේ. මෙම ගොඩනැගිල්ලේ උපයෝගිතාව හා ප‍්‍රතිමාගෘහය අතර ඇති සබඳතාව කුමක්දැයි වටහා ගැනීමට නම් පර්යේෂණ දිගැලි කිරීමට අවශ්‍ය වේ.

පිවිසුම

මීටර 1ක් පමණ වන මණ්ඩපය මත ඉදිකොට ඇති ප‍්‍රතිමාගෘහයට ප‍්‍රවේශ වීමට ගල් පඩිපෙළක් නිර්මාණය කොට ඇත (සැලසුමේ අංක 8). එහි පියගැට 8ක් දක්නට ලැබේ. එහි පාමුල ඕවලාකාර හැඩයට සමීපවන ශිලා පීඨයක් දැකගත හැකි වේ. එය පඩිපෙළින් වෙන්ව ස්ථාපනය කොට ඇත. එය සමීපයේ ප‍්‍රධාන පඩිපෙළට සම්බන්ධ වන ඝෘජුකෝණාශ‍්‍රාකාර ශිලා පීඨයක් වේ. එහි ඉදිරිපස මුරගල් 2ක් ස්ථාපනය කොට ඇත. එහි කිසිදු කැටයමක් දැක ගත නොහැකි අතර එහි ඉහළ-මධ්‍ය ප‍්‍රදේශය මදක් උස් ව ඇත. පඩිපෙළ දෙපස යම් ඉදිකිරීමක් පැවති බවට සාධක දැකගත හැකි වේ. එය කොරවක්ගලක් විය හැකි ය. නමුත් එහි අවශේෂ අදවන විට දැකගත හැකි නොවේ. පඩිපෙළෙන් ප‍්‍රවේශ වනුයේ දිග මීටර 24.7 හා පළල මීටර 16.37 පමණ වන මණ්ඩප ප‍්‍රදේශයකට ය. දකුණු පරිශ‍්‍රයේ ඝෘජුකෝණාශ‍්‍රාකාර ඉදිකිරීමක් දැකගත හැකි වේ. එය සැලසුමේ අංක 7 මඟින් නිරූපණය කොට ඇත. එහි උස් බිත්ති ඉදිනොකොට විවෘත ප‍්‍රදේශයක් ලෙසින් පැවතියාදැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි ව ඇත. මන්ද එහි බිත්ති ඉදිකිරීමේ දී සෙසු අංගවල මෙන් ශිලා ස්ථම්භ භාවිත කළ බවට සාධක ඉතිරිව නැති බැවිනි.

වයඹ දිග අන්තයේ දී මීටර 2.8ක් පමණ වන ප‍්‍රවේශ ද්වාරයක් දැකගත හැකි වේ. මෙම ද්වාරය අංක 6 මඟින් නිරූපිත ප‍්‍රදේශයට විවෘත වේ. එය ප‍්‍රතිමාගෘහයේ අන්තරාලය ලෙසින් හඳුනාගත හැකි වේ. එහි දිග මීටර 6.4ක් හා පළල මීටර 5.47 පමණ වේ. බිත්ති ඉහළට ගොඩනගා පැවති බව පෙනේ. බිත්ති අතර හා බිම ශේෂ ව ඇති ගල්කණු මෙම බිත්ති ශක්තිමත් කිරීමට භාවිත වී ඇති බව පෙනේ. භාවිත වී ඇති ශිලා කුළුණක සාමාන්‍ය උස මීටර 2.4ක් හා පළල සෙන්ටි මීටර 34ක් පමණ වේ. එය බටහිර අන්තයේ සිට මීටර 1.4ක පමණ වන ද්වාරයක් මඟින් අංක 5 මඟින් නිරූපිත ප‍්‍රදේශයට විවෘත වේ. එහි දිග මීටර 9.84 හා පළල මීටර 9.35ක පමණ වේ.

ප්‍රතිමා සහිත ව අදටත් දැකගත හැකි පිළිම ගේ

බිත්ති ශක්තිමත් කිරීමට ඒ අතර යොදන ලද ශිලා ස්ථම්භ 12ක අවශේෂ දැකගත හැකි වේ. මෙම ප‍්‍රදේශය මධ්‍යගත වන්නට අංක 4 මඟින් නිරූපණය වන ගෘහ නිර්මාණ අංගය දැකගත හැකි වේ. ප‍්‍රතිමාගෘහයේ වැදගත්ම ප‍්‍රදේශය ලෙසින් මෙම ස්ථානය හඳුනාගත හැකි වේ. එහි දිග මීටර 3.62 හා පළල මීටර 5.63ක් වේ. ප‍්‍රතිමා ගෘහයේ බස්නාහිර අන්තයේ මධ්‍යගත වන්නට සිටි ඉරියව්ව සහිත බුද්ධප‍්‍රතිමාවක් ස්ථාපනය කොට ඇත. එහි දකුණු හස්තය කැඞී ගොස් ඇත. වම් හස්තය ඉහළට ගොස් ඇති අතර එය සිවුර අල්ලා සිටින ආකාරයක් දැක ගත හැකි වේ. ප‍්‍රතිමාව පාදයේ සිට හිස දක්වා උස මීටර 2.40ක් වේ.

ප්‍රතිමාව වක‍්‍රාකාර පාද පීඨයක් මත ස්ථාපනය කොට ඇත. එහි අරය සෙන්ටිමීටර 97ක් පමණ වේ. ප‍්‍රතිමාවේ කළවා ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 40ක් වේ. බඳ ප‍්‍රදේශය සෙන්ටිමීටර 70කි. උරහිස පළල සෙන්ටිමීටර 64කි. ප‍්‍රතිමාවේ සිවුර ඒකාංශ කොට පොරවා ඇත. රැලි සියුම් ව නිර්මාණය කොට ඇත. ප‍්‍රතිමාව ඔස්සේ නිරූපණය වන මුද්‍රාව කුමක්දැයි පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි ය. ප‍්‍රතිමාව නිර්මාණයට භාවිත අමුද්‍රව්‍ය ක‍්‍රිස්ටලයින් ලයිමිස්ටෝන් (Cristaline Limestone) ලෙසින් හඳුනාගත හැකි ය. සැලසුමේ අංක 1 මඟින් එය නිරූපණය වේ.

ප‍්‍රධාන ප‍්‍රතිමාව දෙපස තවත් ප‍්‍රතිමා ද්විත්වයක් දක්නට ලැබේ. එය සැලසුමේ අංක 2 හා 3 මඟින් නිරූපණය වේ. ප‍්‍රතිමා දෙක බුද්ධ ප‍්‍රතිමාවට එකත්පස ව ස්ථානගත කොට ඇත. මෙම ප‍්‍රතිමා යුගලය විහාර මහා දේවියගේ හා කාවන්තිස්ස රජු ගේ බව ජනප‍්‍රවාදයේ එයි (මහඋරුමය 2011,7).

ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව දෙසට මුහුණ ලා සිටගත් විට, දකුණු පස පිහිටි ප‍්‍රතිමාව උස මීටර 2.17කින් යුක්ක වේ. එහි බෙල්ලේ මුල සිට මකුටයේ කෙළවර දක්වා උස සෙන්ටිමීටර 57කි. උරහිසේ පළල සෙන්ටිමීටර 70ක් ද, බඳ ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 40ක් ද, ඉඟ ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 30ක් ද පමණ වේ. දකුණු හස්තය උරහිසින් ද, වම් හස්තය මැණික් කටුවට මදක් ඉහළින් ද වෙන්ව ඇත. එම නිසා දෑතින් ප‍්‍රකාශ වන මුද්‍රාව කුමක්දැයි හඳුනාගැනීමට හැකියාවක් නොමැත. ප‍්‍රතිමාවේ හිස මකුඨයකින් යුක්ත වේ. මකුටයේ ඉදිරිපම කොටසේ කුඩා ප‍්‍රතිමාවක් නිරුපණය කොට ඇති බව අවශේෂ ව ඇති සලකුණු වලින් පැහැදිලි වේ. නමුත් එය පැහැදිලිව දර්ශනය නොවේ. නළල පටකින් සරසා ඇත. මුහුණ පිරිපුන් මුහුණක් වේ. ආරෝහ පරිණාහ දේහයේ බඳ කොටසේ පූණ නූලක් දැකගත හැකි වේ. ප‍්‍රතිමාවේ යටිකය දෝතියකින් සරසා ඇත. දෝතිය වළලූකර දක්වා ගමන්ගන්නා බව පෙනේ. ප‍්‍රතිමාවේ ස්භාවය අනුව එය පුරුෂ ප‍්‍රතිමාවකි. මකුටයේ දක්නට ලැබෙනුයේ බුද්ධප‍්‍රතිමාවක ස්භාවයකි, ඒ අනුව එය අවලෝකිතේෂ්වර බෝධිවත්වයන්ගේ ප‍්‍රතිමාවක් දැයි කෙනෙකුට ප‍්‍රශ්න කිරීමේ හැකියාව ඇත. නමුත් මකුටයේ ලක්ෂණ එතරම් පැහැදිලි නැත. එ අනුව මෙම ප‍්‍රතිමාව මහායාන කලා ලක්ෂණ පිළිබිබු වන බව පෙනේ.

බුදු පිළිමයට වම් පසින් ඇති පිළිමය

වම් පස පිහිටි ප‍්‍රතිමාව මුලූ උස මීටර 2.66 වේ. එහි ගෙළ මුල සිට මකුඨයේ කෙළවර දක්වා උස සෙන්ටිමීටර 55කි. උරහිසේ පළල සෙන්ටිමීටර 80කි. ඉ`ග ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 54ක් පමණ වේ. දකුණු පස පිහිටි ප‍්‍රතිමාවට බොහෝසෙයින් සමාන වන ලක්ෂණ දැක ගත හැකි වේ. මෙම ප‍්‍රතිමාවේ ද හිස මකුඨයකින් සරසා ඇති බව පෙනේ. නළල පටියකින් සරසා ඇත. බ`ද ප‍්‍රදේශය සැට්ටයකින් යුක්ත වනවාදැයි පැවසීමට ලක්ෂණ ශේෂව ඇත. ගෙළ විවිධ වර්ගයේ හා විවිධ ප‍්‍රමාණයේ මාල වලින් සරසා ඇත. වම් හා දකුණු හස්ත වැළමිටින් වෙන්ව ඇත. නාභියට ඉහළ බද වටා යම් ආභරණයක් පැළ ද ඇත. යටිකය පෙර ප‍්‍රතිමාවේ මෙන්ම දෝතියකින් සරසා ඇත. එය පෙර ප‍්‍රතිමාවට වඩා අගනා ලෙසින් නිරූපණය කොට ඇති බව පෙනේ. ප‍්‍රතිමා ද්විත්වයම අරය සෙන්ටිමීටර 96ක් පමණ වන පාද පීඨයක් මත ස්ථාපනය කොට ඇත. ප‍්‍රතිමාවන් නිර්මාණයේදී අමුද්‍රව්‍ය ලෙසින් ක‍්‍රිස්ටලයින් ලයිමිස්ටෝන් භාවිතාකොට ඇත.

2 පොහොය ගෙය

ප‍්‍රතිමාගෘහයට මීටර කිහිපයක් දකුණු දෙසින් මෙම වාස්තුවිද්‍යා අංගය ස්ථානගත ව ඇත. එහි සරළ සැලසුම පහත පරිදි වේ.

පො‍හොය ගෙය හා එහි සැලැස්ම

එය මීටර 4.80×4.80 පරිමාණයේ සමචතුරස‍්‍රාකාර ගොඩනැගිල්ලක අවශේෂ වේ. ගල් කණු 16ක් භාවිත කරමින් ගොඩනැගිල්ල නිර්මාණය කොට ඇත. එයින් ගල් කණු 4ක් මතුපිටට දර්ශනය වන්නේ නැත. මෙම ගල් කණූ බිත්ති ශක්තිමත් කිරීම සඳහා භාවිත වන්නට ඇත. මෙහි එක් ගල් කණුවක උස මීටර 1. 54ක් වේ. පළල සෙන්ටිමීටර 40×33 පමණ වේ. එහි ගල්කණු 2ක් බිම ඇදවැටී ඇත. ගොඩනැගිල්ලේ දකුණු අන්තයේ මධ්‍ය ප‍්‍රදේශයට වන්නට රවුම් හැඩැති ශිලා පතුරක් දක්නට ලැබේ. එහි භාවිතය කුමක්දැයි තේරුම්ගැනීමට පර්යේෂණ දිගැලි කළ යුතු ය. දකුණු අන්තයේ සිට දෙවන පේළියේ ස්ථානගත වන ශිලා ස්ථම්භයක දෙපස නාග සංකේතය භාවිත කරමින් හැඩගන්වා ඇත. මෙම ස්ථානයට පැමිණ විහාර මහා දේවිය මුණ ගැසුණු කාවන්තිස්ස රජතුමා එතුමිය රාජ මන්දිරයට කැදවාගෙන යාමට ප‍්‍රථම සඳුන් පැන් කල හතකින් ස්නානය කරවා එසේ සිඳුකළ ස්ථානයේ ම එතුමිය සතු ව පැවති සියලූ ආභරණ තැම්පත් කර වූ බව ද සඳහන් වේ (මහඋරැමය 2011,2). මෙම ආභරණ තැම්පත් කළ ස්ථානය මෙය යැයි ජනප‍්‍රවාදයෙ පැවසෙයි. කෙසේ වුවද පුරාවිද්‍යාඥයන්ගේ මතය වනුයේ භික්ෂුන්ගේ විනය කර්ම කිරීම උදෙසා නිමවන ලද උපෝසථඝරයක් බව ය. අද වනවිට මෙම ස්ථානයෙන් අඩක් වැල්ලෙන් යට වී ඇත.

වත්මන් භාවිතය

අද මෙය බාරහාර වන ස්ථානයක් ලෙසින් භාවිත වේ. එහි දී සැදැහැවතුන්ගේ අභිමථාර්ථ ඉටුකරවා ගැනීමට පඩුරු ගැට ගැසීම ද, පහන් සුවඳ කූරු දැල්වීම දක්නට ලැබේ.

ගවේෂණය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්ඩායම භාරහාර වූ ආකාරය

3 චෛත්‍ය නටඹුන්

ප‍්‍රතිමාගෘහයේ සිට මීටර 200ක් පමණ නැගෙනහිර දෙසට (මුහුද දෙසට) ගමන්කළ විට වැලි කඳු (Sand Dunes) ආශ‍්‍රීත ව අඩක් වැල්ලෙන් යට වූ නටඹුන් දැකගත හැකි වේ. මෙම නටඹුන් නිසැකව ම චෛත්‍යයන් ලෙසින් හඳුනා ගැනීමේ හැකියාව නැත. නමුත් ස්ථානයේ මීටර 10.36 ක් හා 5.4ක භූමිභාගයක වක‍්‍රාකාර ලෙස ව්‍යාප්ත වන ගොඩැලි 2ක අවශේෂ පැතිරී ඇත. මෙහි අවට ශිලා ස්ථම්භ 13 ඉක්මවන ප‍්‍රමාණයක් විසිරී පවතී. ගුණපාල සේනාධීර මහතා 1961 වර්ෂයේදී මෙම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී මුහුදේ රැලි ඈත් මෑත් වනවිට චෛත්‍ය 2කක අවශේෂ දර්ශනය වුණු බව එතුමා 1964 වර්ෂයේ ප‍්‍රකාශයට පත්කළ රුහුණේ අප‍්‍රකට පුරාවස්තු නමැති කෘතියේ සඳහන්කොට ඇත (සේනාධීර 121-123). ගුණපාල මහතා ප‍්‍රකාශකළ චෛත්‍ය 2 ඉහත දක්වන ලද අවශේෂ වලට අයත් ඒවා දැයි හැගේ. නමුත් අදවන විට මෙම නටඹුන් පවතින ස්ථානයේ සිට මුහුදට මීටර 400ක පමණ දුරක් දැකගත හැකි වේ.

 

දාගැඹක් විය හැකි නටඹුන්

4 පොකුණ හා වෙනත් නටඹුන්

ප‍්‍රතිමා ගෘහයට උතුරු දෙසින් මදක් විශාල පොකුණක් දක්නට ලැබේ. එය මිනිසා විසින් නිරිමාණය කරන ලද පොකුණක් හෝ ස්භාවික ව නිර්මාණය වූ පොකුණක් දැයි ස්ථිර ලෙස ප‍්‍රකාශ කිරීමට අපහසු ය. ඒ ආශ‍්‍රීතව සිඳුකරන ලද පර්යේෂණ අනුව ගල් හෝ ගඩොල් වැනි ඉදිකිරීම් ද්‍රව්‍යක අවශේෂ වාර්තා නොවුන බව පැව සේ, නමුත් එහි පතුළට කිරිමැටි ස්ථරයක් භාවිත කොට ඇති බව පැවසේ.

වත්මන් ස්වාභාවය

වර්ෂා සමයේ දී ජලයෙන් පිරීයන මෙම පොකුණ වසරේ මාස කිහිපයක් ජලය නොසිදී පවතින බව පෙනේ. නමුත් අගෝස්තු සැප්තැම්බර් මාස වලදී සම්පූර්ණයෙන් වියලී යන බව දක්්නට ලැබේ.

වෙනත් ගොඩනැගිලි අවශේෂ

වැල්ලෙන් මතු වූ ගල්කණු

2010 වර්ෂයේ දී විහාරාධිපතීන් වහන්සේ ඇතුලූ දායක් පිරිස ප‍්‍රතිමා ගෘහයට මීමර 100ක් පමණ නැගෙනහිර දෙසින් වන්නට චෛත්‍යක් ඉදිකිරීමට මුල්ගල් කැපීමේදී මෙම අවශේෂ අනාවරණය කොටගැනීමට හැකි වී ඇත. අද මෙම ස්ථාය වැල්ලෙන් වැසී ඇති බැවින් ඒ පිළිබඳ ව ඓතිහාසික මුහුදු මහා විහාරය යන පොත් පිංචේ එන විස්තරය පහත උපුටා දක්වනු ලැබේ.

ර්‍මුහුදු මහා විහාරයට දීර්ඝ කාලයක් මුලූල්ලෙහි අඩුවක් ව පැවති අංග සම්පූර්ණ චෛත්‍යක් ඉදිකිරීම සඳහා වත්මන් විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩපිළිවෙළකට අනුව 2010 වර්ෂය අග භාගයේ සියලූ කටයුතු සූදානම් විය. චෛත්‍ය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2010 වප් මස 27 වැනි දිනට නියමව තිබූ අතර ඒ සඳහා බිම් සකසනු ලැබුයේ එම මස 22වැනි පුරපසලොස්වක පොහොය දිනයේ දී ය. එදින උදෑසන සුභ මොහොතින් බිම් කැනීම ඇරඹු පිරිසට වැඩි වෙලාවක් ගතවීමට මත්තෙන් අනපේක්ෂිත ලෙස චෛත්‍ය සඳහා මුල්ගල් තැබීමට නියමිත ව තිබූ භූමියෙන් ගල් කණු සයක් සමු විය. මේවා පරික්ෂා කොට බැලූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුඵ පිරිස වහාම මේ පිළිබඳ ව වගකිව යුතු පුද්ගලයන් හට දැනුම් දෙනු ලැබූහ. වර්තමානයේ විහාරස්ථානයට පැමිණෙන ඔබට ආවාස ගෘහය සමීපයේ සිට නැගෙනහිර දෙසට මද දුරක් වැලි පරයට ගොඩවී ගමන් කිරීමේදී මෙම ගල්කණූ සය දැකගතහැක” (මහඋරැමය 2011ල 8).

4 මුහුදු මහා විහාරය හා සම්බන්ධ නව දියයට පුරාවිද්‍යා අනාවරණ

හැදින්වීම

2012 වර්ෂයේ අගෝස්තු මස 20 වන දින සිට 26 දින දක්වා ගෙනගිය මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයේ මූලික අරමුණ වූයේ මුහුදු විහාරයට අයත් මුහුදු තීරයේ ජලයෙන් වැසී ඇතැයි පැවසෙන බෞද්ධ පුරාවිද්‍යා නටඹුන් පිළිබඳ ව කරුණු සෙවීම ය. එහි දී විවිධ අවස්ථා වල දී දියෙන් මතුව පෙනුන බුද්ධ ප‍්‍රතිමා හා වෙනත් වාස්තුවිද්‍යාත්මක අංග පිළිබඳ ව ජනප‍්‍රවාද ගත තොරතුරු පවතී. මෙම විවිධ කථාන්තරයන්හී පවතින සත්‍යතාව පරියේෂණයට ලක්කිරීම මෙහි මූලික ම කරුණක් වේ. ස්ථානයේ ඓතිහාසික කථාන්දරයට අනුව විහාරමහා දේවිය ගොඩබට ස්ථානය ලෙසින් අදවනවිට විවිධ විද්වතුනගේ කථාබහට ලක් වී ඇති බැවින් එම වෘතාන්තය සත්‍ය හෝ අසත්‍ය ලෙස ප‍්‍රකාශ කිරීමට පුරාවිද්‍යා සාක්ෂීන් අවශේෂව ඇත්දැයි පර්යේෂණය ද එහි තවත් අරමුණක් වේ.

පර්යේෂණ කලාපය

පර්යේෂණට පෙර සිඳුකළ මූලික ගවේෂණයේදී ස්ථානය පිළිබඳව ලබාගන්නා ලද තොරතුරු අනුව පර්යේෂණ කලාපය තෝරාගන්නා ලදි. විහාරයේ සිට මීටර 400ක් පමණ නැගෙනහිර දෙසට වන්නට හා වෙරළේ සිට මීටර 500ක් පමණ දුරකින් නොගැඹුරු මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශය පර්යේෂණ කලාපය ලෙසින් තෝරාගන්නා ලදි. ප‍්‍රදේශය ගැඹුර මීටර 5 සිට 7දකවා වන ගල් පර්වත සහිත භූමියක් ක් වේ. ස්ථානයේ සුළං හැමීම නැගෙනහිර සිට බටහිරට සිදුවිය. ආශ‍්‍රීත කලාපයේ මුහුද ඉතා රළු ස්වාභාවයක් පර්යේෂණ කාලය පුරා ම වාර්තා විය. කලාපයේ පවතින ගල්කුළු සහිත භූ විද්‍යාත්මක පරිසරය මෙම තත්ත්වය වඩා වර්ධනයට බලපාන බව පැහැදිලි විය.

ගවේෂණය සිදුකළ කලාපය

පර්යේෂණ ක‍්‍රමවේදය

1 Snorkelling

භාවිත උපකරණ : ඩයිවින් මාස්ක්ස් (Diving Mask) ස්නෝක්ලීන් බට (Snorkelling Tube) හා පින්ස් (Fins) ආදි උපකරණ භාවිත විය. අවශ්‍ය ස්ථාන වල දී භාවිතය සඳහා රිජිෆෝම් බෝයාවන් භාවිතයට ගන්නා ලදි.

ක‍්‍රමවේදය : ස්නෝකල් කිරීමට අවශ්‍ය උපකරණ පැලැද මුහුද මතුපිට පීනායමින් හා ක්ෂණික ව දියයටට කිමිදෙමින් (Duck Diving) නොගැඹුරු මුහුද පත්ල ගවේෂණය මෙහි භාවිත වූ සරල ක‍්‍රමවේදය විය. එහි දී තෝරාගන්නා ලද පර්යේෂණ ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත ව මෙම ගවේෂණය සිඳු කරන ලදි. ලණු භාවිත නොකොට (Swim-Line) පේලියට පීනායාම හා ඒ ඔස්සේ Duck Diving කිරීම යන මූලික ක‍්‍රමවේදය ගවේෂණයේ දී භාවිත විය. එහි දී යම් පුරාවස්තුවක් හෝ වැඩි දුර පර්යේෂණයට ලක් කළ යුතු ස්ථානයක් වේ නම් බෝයාවක් භාවිත කොට ස්ථානය සලකුණු කරන ලදි.

ප‍්‍රතිඵල

ගවේෂණයේ දී යම් යම් වාස්තු විද්‍යාත්මක අංග වලට හැඩහුරුකම් දක්වන අවශේෂ කීපයක් හඳුනාගැනීමට හැකි විය. රවුම් හැඩය ගන්නා වූ මිනිසාගේ යම් මැදිහත් වීමක් දනවන අවශේෂ කිහිපයක් හමුවන ස්ථානයක් හඳුනාගැනිනි. එම ස්ථානය බෝයාවන් යොදා සලකුණු කරන ලදි.

2 SKUBA Diving

භාවිත උපකරණ : ගවේෂණය සඳහා දියයට භාවිතයට ගතයුතු විශේෂ ද්‍රව්‍යා හා උපකරණ භාවිත විය. ගවේෂකයින් සම්පූර්ණ කිමිදුම් කට්ටලයෙන් සමන්විත වීම සිදු විය. එහි දී BCD (Boyancy Control Device), Regulater (Second Stage, Octopase) Aquva Lungs, Mask, Fins, Diving Computer, Under Water Compase, Diving Knife, Wet Suits භාවිත විය. විවිධ වර්ගයේ ලණු, මිනුම් පටි, ස්ලේටි, සේෆ්ටි සොසේජය, GPS උපකරණ (Garmin 76), වීඩියෝ හා ඡායාරූප කැමරා (Cannon D 7000) ආදී වූ ද්‍රව්‍ය හා උපකරණ භාවිතයට ගන්නා ලදි.

ක‍්‍රමවේදය : කිමිදුම් උපකරණ පැලැද මීටර 500ක් පමණ පීනායමින් පර්යේෂණ ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ විය. මීට පෙර ස්නෝක්ලින් භාවිත කොට පර්යේෂණ ක්ෂේත‍්‍රය සලකුණු කොට පැවති අතර එම බෝයාව පවතින ස්ථානයේ සිට පර්යේෂණය ආරම්භ කරන ලදි. ක්ෂේත‍්‍රය පුරා කිමිදුම්කරුවන් ගමන්කරමින් ගවේෂණයට ලක්කරණ ලදි. ගවේෂණය සඳහා දින 3ක් පමණ භාවිතයට ගැනිනි. ක්ෂේත‍්‍රයේ හා අනාවරණය වන විවිධ අවශේෂ ඡායාරූපමය හා වීඩියෝ යන වාර්තාකරණයට ලක් කොට ඇත.

ප‍්‍රතිඵල

Snorkelling මඟින් සිදුකළ මූලික ගවේෂණයෙන් අනාවරණය කොටගත් වාස්තුවිද්‍යාත්මක අංග වලට හැඩහුරුකම් දක්වන අවශේෂ පිළිබඳ ව වැඩිදුරටත් පර්යේෂණයේදී රවුම් හැඩය ගන්නා වූ මිනිසා ගේ යම් මැදිහත් වීමක් දනවන අවශේෂ කිහිපයකම සාදක වැඩිදුරටත් වාර්තා කිරීමට හැකිවිය. මෙසේ වාර්තා වූ අවශේෂ සඳකඩපහණ, කොරවක්ගල හා ගඩොල් අවශේෂ ආදී වූ බෞද්ධ විහාර කර්මාන්තයේ බහුල ව භාවිත වන වාස්තුවිද්‍යාත්මක අංග වලට සමීප ලක්ෂණ පෙන්නුම් කළ ද එය නිශ්චිත ලෙස ප‍්‍රකාශකිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැත.

යෝජනා

පර්යේෂණ ස්ථානයේ මුහුද ආශ‍්‍රිත ව පැවති අයහපත් ස්වාභාවය පර්යේෂණ සඳහා විශාල බලපෑමක් ඇති කළේ ය. පර්යේෂණ කාලසීමාව තුළ ජලයේ දෘෂ්‍යතාව අඩු වීම ද පුරාවස්තුන් හඳුනාගැනීමට බාධා ඇති කළේ ය. මෙම ස්ථානයේ පවතින ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගය හඳුනාගැනීමට නම් වැඩිදුරටත් පර්යේෂණ දිගැලි කිරීමට අවශ්‍ය වේ.

පර්යේෂණයේ නිමාව

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර කලාපයේ ත‍්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රීක්ක ත‍්‍රීත්වයේ මුහුදු බඩ කලාප මුල් කරගනිමින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය (MAU) සිදුකළ දියයට මුහුදු පුරාවිද්‍යා ගවේෂණය පුරා දින 40කට පසුව 2012 අගෝසතු මස 26 දින නිමාවට පත්විය.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර

Deraniyagala, S.U. The Prehistory of Sri Lanka: An Ecological Perspective. Vol. 1. Department of Archaeological Survey, 1992
Green, Jeremy. Maritime Archaeology: A Technical Handbook. Elsevier Academic Press, 2004.
මහඋරුමය, ඓතිහාසික මුහුදු මහා විහාරය, පන්නිපිට්ය: තිලක් පින්ටර්ස් ලිමිටඩ්, 2011
මහාවංශය, දෙහිවල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. 2004
සේනාධීර, ගුණපාල, රුහුණේ අපූකට පුරාවස්තු, කොළඔ: ඇම්.ඩී. ගුණසේන හා සමාගම.
https://maps.google.com/maps?hl=en

නැ‍ඟෙනහිර මුහුදු පුරාවිද්‍යා ගවේෂණයේ නව අනාවරණ II-2012

ඒ. එම්. ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න

 

ඡායාරූප : නන්දදාස සමරවීර හා රසික මුතුකුමාරණ

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල.

හැදින්වීම

MAU සංවිධානය කළ මුහුදු පුරාවිද්‍යා උරුම ගවේෂණයේ (2012) දෙවන පියවර මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයෙන් ආරම්භ කෙරිණී. දියයට උරුමයන් රැසක් පිළිබඳ සාධක මෙම ගවේෂණයෙන් අනාවරණය කොට ගැනීමට හැකියාව ලැබී ඇත.

1 ලේඩි මැක්ලම් නෞකාව (Lady McCullum SS)

ගවේෂණයේ දෙවන පියවර මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කායන්කර්නි ප‍්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. කායන්කර්නි මුහුදු තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මුහුදු බත් වී ඇති යකඩ නෞකාව පිළිබඳ ගවේෂණ කටයුතු ප‍ළමු ව ආරම්භකරන ලදි. ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකු වන කොළඹගේ ජගත් ලාල් විසින් සපයන ලද තොරතුරු මෙහිදි වැදගත් විය.

කොළඹගේ ජගත් ලාල්

ප‍්‍රදේශයේ ධීවර ජනතාවගෙන් ලද තොරතුරු අනුව මෙම නෞකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ ගිලී ගිය ලේඩි මැක්ලම් (Lady McCullum SS) නමැති නෞකාව වශයෙන් හඳුනා ගැනිණි. ඉදිරි පර්යේෂණ වල දී ලබාගන්නා තොරතුරු වලට අනුව මෙම නාමය වෙනස් වීමට ඉඩ ඇත.

පර්යේෂණ කාලරාමුව ඉතා කෙටිකලකට සීමා වූ බැවින් ප‍්‍රදේශයෙන් හමු වූ නාවික යාත‍්‍රා ආශ‍්‍රිත පර්යේෂණයන් දින දෙකේ සිට තුන දක්වා උපරිමයකට සීමා කෙරිණි. එහි දී නෞකාවන් මුහුදු පත්ලේ වැතිර ඇති ස්වභාවය හදුනාගැනීම, දිග පළල ලබාගැනීම ආදී මිනුම් ගත කිරීම්, දළ සටහන් නිර්මාණය, ඡාරූපගත කිරිම හා වීඩියෝගත කිරීම හා ස්ථානයේ GPS අගය ලබා ගැනීම මෙහි මූලික ඉලක්ක විය.

මීටර 17ක් පමණ ගැඹුරේ ස්ථානගතව ඇති මෙම නෞකාව විශාල වශයෙන් හානියට ලක් ව කොටස් වශයෙන් තැන තැන විසිරී ඇත. එහෙත් නෞකාවේ ඉදිරිපස (Bow) කොටස හා පසුපස කොටස (Stern) හඳුනාගැනීමට හැකි වේ. අවර පෙත්ත (Propeller) හා අවර දණ්ඩ (Propeller Shaft) මැනවින් ආරක්ෂා වී පවතී. බොයිලේරු 2ක් හා යකඩ නැංගුරම් (Anchor) 3ක් දැකගත හැකි අතර එක් නැංගුරමක් ඉදිරිපස කොටසේ ද අනෙක් නැංගුරම් දෙක නැවේ මධ්‍ය හා පිටුපස කොටස් වල ස්ථානගත ව ඇත.

දැනට ශේෂ ව ඇති නෞකාවේ කොටස් අවශේෂ අනුව ඉදිරිපස කොටසේ සිට අවර පෙත්ත දක්වා දිග මීටර 71ක් හා පළල මීටර 13.80ක් පමණ වේ. නිරීක්ෂණයට අනුව නෞකාවේ සමහර කොටස් වැලි සහිත මුහුදු පත්ලේ වැළලී ඇති බවට අනුමාන කළ හැකි ය.

ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකුගෙන් ලද තොරතුරු අනුව, නෞකාවේ යකඩ අවශේෂ කොටස් කිහිපයක් තමන් විසින් මුදලට අලෙවි කළ බවත් ඉන් එක් යකඩ අවශේෂ කොටසකAlly & Macleelan වශයෙන් හා CLA හෝ CIA Company සටහන් කොට තිබූ බව ට සඳහන් කරයි (සම්මුඛ සාකච්ඡාව 2012.08.16). මේ පිළිබඳ ව පර්යේෂණ ඉදිරියට රැගෙන යාම අවශ්‍ය අතර එම පර්යේෂණ මඟින් ලැබෙන දත්ත අනුව දැනට පවතින තොරතුරු වෙනස් විය හැකි ය.

2. බ්‍රිටීස් සාජන්ට් නෞකාව (British Sergeant)

වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කායන්කර්නි ග‍්‍රාම නිලධාරි වසමට අයත් කායන්කර්නි මුහුදු තීරයේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් ස්ථානගතව ඇත.

ගවේෂකයින් මුහුදු පත්ලට පිවිසෙමින්

දුරින් මීටර 25.5 පමණ ගැඹුරේ මුහුදු බත් වී ඇති නෞකාවක් වේ. ප‍්‍රදේශයේ ධීවර ජනතාවගෙන් ලද තොරතුරු අනුව මෙම නෞකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ ගිලී ගිය British Sergeant නෞකාව වශයෙන් හඳුනාගැනිනි. ඉදිරි පර්යේෂණ වල දී ලබාගන්නා තොරතුරු වලට අනව මෙම නම වෙනස් වීමට ඉඩ ඇත.

නැගෙනහිර මුහුදු පුරාවිද්‍යා ගවේෂණයේ දී ත‍්‍රීකුණාමලයේ සිට මඩකලපුව දක්වා MAU පර්යේෂණ කණ්ඩායමේ අවධානයට ලක් වූ ගිලී ගිය නාවික යාත‍්‍රා අතරින් වඩාත් ම ආරක්ෂා වී ඇති යාත‍්‍රාව ලෙස British Sergeant හැදින්විය හැකි ය. නෞකාව ප‍්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් ව ඇත. එක් කොටසක දිග මීටර 75ක් ද අනෙක් කොටසේ දිග මීටර 52.80ක් ද වේ. නැවේ පිටුපස කොටසේ පළල මීටර 16කි.

දින දෙකේ සිට තුනක කාලරාමුවක් පර්යේෂණය සහා වෙන්වීම හේතුකොටගෙන නෞකාවේ දළ සටහන් ඇදීම හා දිග පළල ලබාගැනීම, ඡායාරූප ගතකිරීම හා වීඩියෝගත කිරීම පමණක් මෙහි දී සිදුවිය. ප‍්‍රදේශයේ ධීවර ජනතාව අනුව දෙවන ලෝක යුධ සමයේ බෝම්බ හෙලීම හේතුකොටගෙන නැව මුහුදු බත් වූ බව පැවසේ.

බ්‍රිටීස් සාජන්ට් නෞකාව (British Sergeant) ට අයත් කොටස්

 

කායන්කර්නි ආශ‍්‍රිත වෙනත් පුරාවිද්‍යා උරුමයන්

ගල්පාලම

වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කායන්කර්නි ග‍්‍රාම නිලධාරි වසමේ, මඩකලපුව -ත‍්‍රීකුණාමලය A15 මාර්ගයේ, කායන්කර්නි හන්දියේ සිට බස්නාහිරට වන්නට කායන්කර්නි ආරු ලෙසින් ප‍්‍රදේශයේ ජනතාව හදුන්වන කායන්කර්නි කලපුව හරහා මෙම ගල් පාලම ස්ථානගත ව ඇත. බටහිර සිට නැගෙනහිර දෙසට මෙම ගල් පාලමේ ව්‍යාප්තිය දැකගත හැකි ය. ඇස් මටිටමින් මීටර 200ක පමණ ප‍්‍රදේශයක පාලමේ ගල්කණු ව්‍යාප්ත ව ඇත. සමහර කණූ කලපුව හරහා වැටී ඇත.

ගල්පාල‍මේ ස්ථානගතවීම

ගල් පාලම                                                        ගවේෂණය අතරතුර

සිටුවා ඇති ගල් කණු වල යම් ප‍්‍රමාණයක් ජලයෙන් යට වී ඇත. 70 හෝ 80 දශකයේ ඇති වූ සුළි සුළං කාලගුණ තත්ත්වයක් යටතේ දී කණු මත එළා පැවති ගල් පතුරු බිම ඇද වැටුණු බව පැවසෙයි (සම්මුඛ සාකච්ඡා: එස්.එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර, 2012.08.15). ප‍්‍රදේශීය ජනතාව මෙම පාලම ”වන්නදි” (වන්නාදි යනු ද්‍රවිඩ භාෂාවෙන් සමනළයා හදුන්වන වදනකි) පාලම ලෙසින් ද හදුන්වනු ලැබේ (සම්මුඛ සාකච්ඡා එස්. එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර, 2012.08.15).

1 ගල්පාලම

කායන්කර්නි ගල් පාලම සිට කිලෝමීටර 2ක් පමණ නැගෙනහිර දෙසින් හා කායන්කර්නි මුහුදු වෙරළේ සිට මීටර 200ක් පමණ ගොඩබිම දෙසට වන්නට කිලෝමීටර කිහිපයක් පුරා ව්‍යාප්ත ව පවතින පුරාවිද්‍යා නටඹුන් රැසක් හදුනාගත හැකි වේ. මෙම ස්ථානයේ විවිධ ප‍්‍රමාණයේ ගල් කණු, කොරවක් ගල්, සඳකඩපහණ ආදි වාස්තුවිද්‍යාත්මක අංග රැසක් අනාවරණය කරගැනීට හැකියාව උදාවිය. කායන්කර්නි ගල් පාලම ගමන්ගන්නනේ මෙම වාස්තුවිද්‍යා අංග දක්නට ලැබෙන ප‍්‍රදේශයට වේ (ගූගල් ඡායාරූපය ඔස්සේ එය නිරූපණය කොට ඇත).


ගූගල් සිතියමේ පාලම දැක්වෙන ආකාරය

මෙම ගල්පාලම හා නටඹුන් සහිත භූමිය අතර යා වුණු මාර්ගයක් ලෙසින් මෙම මාර්ගය හදුනාගත හැකි ය. නටබුන් සහිත ස්ථානයේ අතීතයේ දී පාසලක් පැවති බවත් එම පාසලට රජකුමාරවරු හා කුමාරියන් ගමන්ගත් මාර්ගය මෙම ගල් පාලම බව පවසයි (සම්මුඛ සාකච්ඡා: එස්.එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර, 2012.08.15). කායන්කර්නි ප‍්‍රදේශයේ භූ-රූප විද්‍යාත්මක පසුබිම නිරීක්ෂණයේ දී එය මුහුදු බොක්කක (Bay) ස්වභාවයක් ගනු ලැබේ. ඒ අනුව වරායක් සඳහා උචිත ස්ථානයක් ලෙසින් හදුනාගතහැකි වේ. ඒ අනුව අතීත වරායක සම්බන්ධතාව හා ඒ හා බැදි ආගමික ස්ථානයක් මෙන් ම අසන්න කලාපයේ නිරිත දිගින් ස්ථාපිත පැවති වූ පොලොන්නරු රාජධානිය හා සම්බන්ධ ඉතිහාස කථාන්දරයක සේයාවන් මෙම සාධක ඔස්සේ පිළිබිඹු වනවාදැයි මෙම පුරාවිද්‍යා අවශේෂ දකින විට ප‍්‍රශ්න කිරීමේ හැකියාව පවතී. නමුත් වැඩිදුර අධ්‍යයනයට ලක්විය යුතු ස්ථානයක් ලෙසින් හැදින්විය හැකි වේ.

මෙම තොරතුරු පැය 4ක පමණ මූලික ගවේෂණයකින් ලබා ගන්නා ලද තොරතුරු වේ. ගල්පාලම ගවේෂණයේ දී මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ මුහුදු පුරාවිද්‍යාඥ නන්දදාස සමරවීර මහතා, මෙම ලිපියේ දෙවන කතෘ හා කායන්කර්නි ගම්වැසියන් වන කොළඔගේ ජගත් ලාල්, එස්. එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර යන මහත්වරුන් සහභාගි විය. තිලකරත්න හා රංජිත් මහත්වරුන් ස්ථානය සොයාගැනීමට හා විස්තර සැපයීමට මහත් උනන්දුවෙන් කටයුතු කරන ලදී.

පාසිකුඩා ආශ‍්‍රිත නෞකා

පාසිකුඩා මුහුදු තීරය ආශ‍්‍රිත ව සිදුකළ ගවේෂණයේ දී ගිලීගිය නෞකා 3ක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

1. පාසිකුඩා යකඩ නෞකාව (Pasikuda Iron Wreck)

වාලච්චේන ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ පාසිකුඩා වෙරළ තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මීටර 9ක පමණ ගැඹුරේ ගිලී ඇති නාවික යාත‍්‍රාවකි. නෞකාවේ කොටස් විශාල ගල් පරයක් මත විසිර ඇති අතර විශාල වශයෙන් හානියට පත්ව ඇති බවට පෙනේ. නැවේ අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනා ව ආරක්ෂා වී පවතින අතර නැවේ ඉදිරිපස හා පිටුපස කොටස පහසුවෙන් හඳුනාගත හැකි වේ.

යාත‍්‍රාව පිළිබඳ ව සිඳුකරන ලද නිරීක්ෂණයේ දී තරමක් විශාල යකඩ නැංගුරමක් දැකගත හැකි විය. මෙතෙක් සිඳුකරන ලද පර්යේෂණ අනුව නෞකාවේ නාමය පිළිබඳව අනාවරණය කරගැනීමට තරම් සාක්ෂි සොයාගැනීමට අපොහොසත් වී ඇත.

2. පාසිකුඩා වාෂ්ප නෞකාව i (Pasikuda Boiler Wreck i)

පාසිකුඩා වෙරළ තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මීටර 6ක් පමණ ගැඹුරේ, ඉහත විස්තර කළ නෞකාවට මීටර 200ක් පමණ උතුරු දෙසින් ස්ථානගතව ඇත. යකඩයෙන් නිර්මාණය කොට ඇති මෙම නෞකාව වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූවකි. එහි අවශේෂ අතර බොයිලේරු 3ක් මෙම පර්යේෂණයේ දී ගවේෂණයට ලක් වූ අතර අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනාව ආරක්ෂා වී ඇත.

පාසිකුඩා වාෂ්ප නෞකාව i (Pasikuda Boiler Wreck i)

එහි ඉදිරිපස කොටස සමීපයේ යකඩ නැංගුරම් දෙකක් ද, මධ්‍ය කොටසේ එක් නැංගුරමක් ද නිරීක්ෂණය විය. නෞකාව මිනුම්ගත කිරීම, දළ සටහන් නිර්මාණය, ඡායාරූපකරණය, හා වීඩියෝගත කිරීම, හා GPS අගය ලබා ගැනීම මෙම පර්යේෂණයේ දී සිදුවිය.

3. පාසිකුඩා වාෂ්ප නෞකාව ii (Pasikuda Boiler Wreck ii)

ඉහත විස්තර කළ පාසිකුඩා බොයිලර් රෙක් 1 (වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන) නෞකාවට මීටර 50ක් පමණ දුරින් තවත් වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන යාත‍්‍රාවක අවශේෂ හඳුනා ගැනීමට හැකි විය. එහි බොයිලේරු 3ක් දැකගත හැකි අතර එක් බොයිලේරුවක් විනාශයට පත් ව ඇත. අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනා ව ආරක්ෂා වී ඇත.

පාසිකුඩා වාෂ්ප නෞකාව ii (Pasikuda Boiler Wreck ii)

විසිරී ඇති අවශේෂ අනුව නෞකාවේ දිග මීටර 88ක් වේ. SS Gladys Moller ලෙසින් හඳුන්වන වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන නැවක් පාසිකුඩා වෙරළ ආශ‍්‍රිත කලාපයේ ගිලී ගිය බවට වාර්තාවන නමුත් (http://www.wrecksite.eu/wreck.aspx?59037 and http://www.divesrilanka.com) ඉහත විස්තර කළ පාසිකුඩා බොයිලර් රෙක් i හා පාසිකුඩා බොයිලර් රෙක් ii ලෙසින් හඳුන්වන නාවික යාත‍්‍රා දෙකින් SS Gladys Moller නෞකාව කුමක්දැයි පැහැදිලිව වෙන්කොට හඳුනාගැනීමට මෙම පර්යේෂණ තුළින් මෙතෙක් හැකි වී නැත.

4. පාසිකුඩා ආශ‍්‍රිත වෙනත් පුරාවිද්‍යා උරුමයන්

පාසිකුඩා වෙරළ ආශ‍්‍රිතව ලංදේසි සමයට අයත් වාස්තුවිද්‍යාත්මක අංග කීපයක් අනාවරණය කොට ගැනීමට හැකියාව උදා විය. ඒ අතර ජැටියක අවශේෂ හා ගබඩා ගොඩනැගිල්ලක පාදම් කොටස් හඳුනාගත හැකි විය.

ජැටියේ අවශේෂ                                           ගබඩා ගොඩනැගිල්ලේ පාදම කොටස්

කායන්කර්නි හා පාසිකුඩා ආශ‍්‍රිත ගවේෂණයන්හී දි ප‍්‍රදේශීය ධීවරයන් වන එස් නොවිල්, ඊශ්වරම් ප‍්‍රභූ හා වෙල්මුරුගන් අරුන්ලාත් යන මහතුන්ගෙන් විශාල සහයෝගයක් හිමිවිය.

   

 

එස්. නොවිල්                               ඊශ්වරම් ප්‍රභූවෙල්                  මුරුගන්  අරුන්ලාත්

 

මඩකලපුව ආශ‍්‍රිත නෞකා

1. මඩකලපුව වාෂ්ප නෞකාව i (Baticaloa Boiler Wreck i)

මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ නාවලඩි ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ නාවලඩි කලපුවේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මුහුදු බත් වී ඇති මෙම නෞකාවේ අවශේෂ මීටර 9ක් පමණ ගැඹුරේ තැම්පත් ව ඇත.
MAU ගවේෂණයේ දී මෙතෙක් හමුව ඇති වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන බොයිලේරු 5කින් යුක්ත එකම නෞකාව ලෙස මෙම නෞකාව හැඳිනගත හැකි වේ.

නෞකාව මිනුම්ගතකිරීම

අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනාව ආරක්ෂා වී ඇත. ඉදිරිපස හා පිටුපස කොටස පහසුවෙන් හඳුනාගත හැකි පරිදි තැම්පත් ව ඇත. නෞකාවේ උපරිම දිග මීටර 102.80 පමණ වේ.

මඩකලපුව වාෂ්ප නෞකාවේ පොපෙලර් සාෆ්ට්

මෙම නෞකා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකු වන ජේ. යෝගරාෂාගේ සහය හිමි විය.

  ජේ. යෝගරාෂා

2. සක්කර කප්පල් නෞකාව (Brennus SS)

නාවල්අඩි ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් නාවල් අඩි කලපුවේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් සිලාමුණේ මුහුදු තීරයේ මීටර 7ක් පමණ ගැඹුරක ස්ථානගත ව ඇත.

ප‍්‍රදේශයේ ජනතාව මෙම නෞකාව හැදින්වීමට සක්කර කප්පල් යන වදන භාවිත කරයි. එහි සක්කර යනු හකුරු වන අතර කප්පල් යනු නැව යන්න හැදින්වීමට යොදන දෙමළ වදන් වේ. නෞකාව පිළිබඳ ව අන්තර්ජාලය ඔස්සේ තොරතුරු රැුසක් අනාවරණය කොට ගැනීමට හැකියාව උදා වී ඇත. 1878 වර්ෂයේ දී Matthew Pearse & Co. Ltd. නමැති බ්‍රිතාන්‍ය සමාගම නිපදවා ඇති අතර එහි නාමය Brennus SS වේ. ඉන්දියාවේ විශාකා පට්නම් සිට එංගලන්තයේ ලන්ඩන් දක්වා හකුරු ප‍්‍රවාහණයකරමින් සිටින අවස්ථාවේ, 1881 වර්ෂයේ ජූලි 7 වන දින දී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ මඩකලපු ප‍්‍රදීපාගාරයේ සිට මයිල 3.5ක් ඊශාන දිග ප‍්‍රදේශයේ දී මුහුදු බත් වී ඇති බව පැවසේ (http://www.wrecksite.eu/wreck.aspx?142310).

අන්තර්ජාල තොරතුරු

Details about Brennus SS

nationality: british
purpose: transport
type: cargo ship
propulsion: steam
date built: 1878
status:
unknown

weight (tons): 1494 grt
dimensions : 73,1 x 10,1 x — m
material: iron
engine: Compound engine
power: –
speed: –

about the loss
cause lost: ran aground (wrecked)
date lost: 07/07/1881 [dd/mm/yyyy]

builder:
Matthew Pearse & Co. Ltd., Stockton-On-Tees
owner:
Kay R. J., Newcastle-Upon-Tyne

History

Brennus SS was a British cargo steamer of 1,494 grt that ran aground and was wrecked on the 7th July 1881 when 3.5 miles NE of Batticiloa Light House, E. Ceylon when on route from Vizagapatam for London with a cargo of jaggery Unrefined sugar).

About Builders

Matthew Pearse & Co. Ltd., Stockton-On-Tees Matthew Pearse & Co. from the Stockton-On-Tees, was a shipbuilder with roots from 1854 onwards.In 1888, the company was bought by Robert Ropner and continued to build ships under Matthew Pearse & Co.In 1919 Matthew Pearse & Co. ceased to exist, when Ropner founded his own company Ropner Shipbuilding &

(මූලාශ‍්‍ර : http://www.wrecksite.eu/wreck.aspx?1420)

නාවික යාත‍්‍රාවේ බොයිලේරු දැකගත හැකි වේ. පොපෙලර් සාෆ්ට් හා අවර පෙත්ත මනා ව ආරක්ෂා ව පවතී.

කල්මුණේ ආශ‍්‍රිත නෞකා

මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ කායන්කර්නි ප‍්‍රදේශයේ සිට ගෙන ගිය මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ අම්පාර දිස්ත‍්‍රීක්කයේ කල්මුණේ මුහුදු තීරයට ව්‍යාප්ත කරන ලදි. එම කලාපයේ සිදුකළ පර්යේෂණ තුලින් නෞකාවන් 4ක් පිළිබඳ ව තොරතුරු වාර්තා විණි. ගැඹුරු මුහුද ආශ‍්‍රිතව නෞකා 2ක් පිළිබඳ ව වාර්තා වුව ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම නෞකා සොයා ගැනීමට අපොහොසත් විය. ඉතිරි නෞකා දෙකෙහි පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි විය.

1. කල්මුණේ වාෂ්ප නෞකාව (Kalmune Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ කල්මුණේ ප‍්‍රදේශීය බලප‍්‍රදේශයේ, කුරුන්දෙඩි ග‍්‍රාම නිලධාරි වසමේ කල්මුණේ 1 මුහුදු තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින්, කොඩිඑත්තම් මුස්ලිම් පල්ලියට මුහුණලා, මීටර 12ක පමණ නො ගැඹුරු මුහුදේ ස්ථානගත ව ඇත.

නෞකාවේ අවර පෙති දෙකක්, පොපෙලර් සාෆ්ට් එකක හා බොයිලේරු 3ක අවශේෂ නිරීක්ෂණය ලක් විය. එහි දිග මීටර 102.80 හා පළල 33.70 ක් වේ.

 

2. කල්මුණේ යකඩ නෞකාව (Kalmune Iron Wreck)

ඉහත විස්තර කළ නෞකාවට මීටර 50ක් පමණ දුරින් මීටර 9ක් පමණ ගැඹුරේ ස්ථානගත ව ඇත. විශාල ලෙස හානි වී ඇති නෞකාවේ එන්ජින් කොටස් පහසුවෙන් හඳුනාගත හැකි වේ.

සංක්ෂිප්තය

ගිලූණු නෞකා යනු මුහුදු ජීවීන් සඳහා නිර්මාණය වී ඇති පාරාදීසයක් ලෙසින් හැදින්විය හැකි වේ. එය විවිධ ජීවින්ගෙන් යුක්ත පරිසර පද්ධතියකි. එක් අතකින් එය පුරාවිද්‍යා උරුමයක් වේ. නමුත් ඉහත විස්තර කළ සියලූ ම නෞකා මිනිසාගේ විසින් විනාශ කර ඇති බව පෙනේ. ඩයිනමයිටි යොදාගනිමින් මෙම උරුමයන් පුපුරවා හැර ඇති ආකාරය දැකගත හැකි ය. මිනිසා විසින් සිදුකරන විනාශයන් වළකමින් මෙම උරුමයන් ආරක්ෂා කිරීමට හැකි ඉක්මන් පියවර ගැනීමට වගකිව යුතු ආයතනයන් ක‍්‍රියාකළ යුතුව ඇත.

විශේෂ සටහන (MAU සිදුකරන ගවේෂණයේ මීළග පියවර පොතුවිල් හා අවට ප‍්‍රදේශයට යොමු කළ අතර එම පර්යේෂණයන්ගේ ප‍්‍රථිපල නැගෙනහිර මුහුදු පුරාවිද්‍යා නව අනාවරණ iii ලිපිය මගින් www.si.archaeology.lk ඔස්සේ ප‍්‍රකාශ කිරීමට නියමිත ය.)