Home Blog Page 29

කොත්මලේ ජලාශයෙන් යට වී ගිය ලෝහ තාක්ෂණික උරුමය

එච්.ජි. දයාසිසිර

කථිකාචාර්ය (තාවකාලික), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

කොත්මලේ යන නම වර්තමානයේ එක්වරම සංඥා කරන්නේ කොත්මලේ ජලාශය යි. සමනළ වැව දිය කඳින් වසර දෙදහස් තුන්සියක සිට එම ප්‍රදේශයේ පැවත ආ යකඩ හා වානේ කර්මාන්තයට අයත් අවශේෂ යට වී ගියේ ය. එම ජලාශය ඉදිකිරීමට ප්‍රථම ප්‍රමාණවත් පුරාවිද්‍යා ගවේෂණ හා කැනීම් සිදු වූ බැවින් එහි තාක්ෂණික සම්ප්‍රදාය ලොවට දායාද කිරීම ට හැකි වි ය. එ නමුත් කොත්මලේ ජලාශයෙන් එවැනි ම වූ ඉතිහාසයක් යට වී ගියේ කිසිදු පුරාවිද්‍යා සොයා බැලීමකින් තොරව ය. මෙම ලිපියෙන් එම ඉතිහාසයේ ඡායා මාත්‍රයක් පමණක් සටහන් කිරීමට සිදු වී ඇත්තේ එහෙයිනි .

Kothmale Dam-Sri Lanka-Mahaveli Project
කොත්මලේ ජලාශය (මෙම ඡායාරූපය http://amazinglanka.com/ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

කොත්මලේ, නැගෙනහිරින් හේවාහැට දකුණින් ඌව, බටහිරින් උඩ බුලත්ගම, උතුරින් උඩ පලාත සීමාවන් කරගත් වර්ග සැතපුම් 236ක ප්‍රමාණයෙන් යුතු මහනුවර රාජධානියට අයත් කලාපයකි. අවුරුදු මිලියන හයසියයකට වඩා පැරණි ප්‍රාග් කේම්බ්‍රිය යුගයේ නිර්මාණය වූ පාෂාණවලින් සැදුම් ලත් මධ්‍ය කඳුකරය දළ වශයෙන් දිවයිනේ මධ්‍යයට වන්නට පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට අඩි 500ක් පමණ දක්වා උස් වන භූමියකි. නිවර්තන වනාන්තරයන් ගෙන් ගහණ වූ වසර මුළුල්ලේ වර්ෂාපතනය ලැබෙන හා වසර මුළුල්ලේ ම ගලා බසින දිය දහරා වලින් සමන්විත ප්‍රදේශයකි. මධ්‍ය කඳුකරය නිර්මාණය වී ඇති තිරුවානා, පළිඟු, ගානට් තීරු සහිත උස් බිම් ශ්‍රේණියේ පාෂාණ වල විශේෂ ලක්ෂණයක් නම් එම පාෂාණ තීරුවල විශාල ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකිවීම යි. මෙම ආභ්‍යන්තරික ලක්ෂණය, නිවර්තන වැසි වනාන්තර සහිත වීම සහ මෝසම් ක්‍රියාකාරීත්වයට දායක වීම වැනි කරුණු නිසා උල්පත්, කඳුරු, දොල, දිය ඇළි මධ්‍ය කඳුකරයෙන් පැනනැගී ගංගා ඔය බවට පත් වී අර්ධ තැනිතලා හා තැනිතලා ප්‍රදේශ සාරවත් කරමින් මුහුදට ගලා බසී. ඉහත සඳහන් කළ පාෂාණ තීරුවල මැණික්, මිනිරන්, ලෝපස් වැනි වටිනා ඛණිජයන් අන්තර්ගතය. විශේෂයෙන් මැග්නයිට් ලෝ පස මෙම තීරු වල අන්තර්ගත වේ. එම මැග්නටයිට් ඔක්සීකරණය වී හිමටයිට්, ලිමොනයිට් වැනි ඔක්සයිඩ් යපස් ලෙස ද පවතී. කඳුවල පස් සැකැස්ම තුළ අන්තර්ගත මෙවැනි යපස් හා වෙනත් ඛණිජ සේදී යාමට ලක්වීමෙන් පොළොව මතුපිට පැමිණී ම, කඳු පාමුල තැන්පත්වීම හෝ දිය කඳුරු, දොල, ඔය, ගංගා ඔස්සේ ගෙන යමින් ඒවායේ තැන්පත්වීම හෝ සිදු වේ.

දිව‍යිනේ තැනිතලා ප්‍රදේශවලට සාපේක්ෂව ගිරිදුර්ග, වන දුර්ග සහිත මධ්‍ය කඳුකරය මිනිසුන් අතර සබඳතා සීමා කරන බැවින් සම්ප්‍රදායක් දිගුකල් පවත්වාගෙන යාමේ හැකියාව ඇත. මධ්‍ය කඳුකරයේ භෞමික ලක්ෂණ නිසා ශිෂ්ටාචාරයේ එක් අවධියක දී එය සාපේක්ෂ ව හුදකලා වීම ත් එම භෞමික ලක්ෂණ නිසා ම තවත් අවධියක දී ජනාකීර්ණ ආකර්ෂණ ප්‍රදේශයක්වීම ත් අපූර්ව ලක්ෂණය කි. දඩයම් යුගයේ මානවයා ට ආහාර, සෙවන, ආරක්ෂාව සැපයූ තෝතැන්නක් ලෙස එම යුගයේ මධ්‍යම කඳුකරය ආකර්ෂණීය විය. පසුව ලෝහ තාක්ෂණය රට තුළට පිවිසෙන ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවස පමණ කාලයේ සිට දිව‍යිනේ වියළි කලාපීය තැනිතලා ප්‍රදේශ වඩාත් ආකර්ෂණ ප්‍රදේශ වෙමින් මධ්‍ය කඳුකරය සාපේක්ෂව හුදකලා කරයි. එහෙත් යකඩ තාක්ෂණය හඳුනා ගත් මුල් යකඩ යුගයට අයත් සුසාන ජනාවාස, බ්‍රාහ්මීය ශිලා ලේඛන ගණනාවක් මධ්‍ය කඳුකරයෙන් හමු වී ඇති බැවින් එය නොවැදගත් කලාපයක් වූවා යැයි කිව නොහැක. ක්‍රිස්තු වර්ෂ 1,300 පමණ වන තුරු උතුරු දිග තැනිතලාව (රජරට) ප්‍රමුඛ කලාපය වූව ත් මධ්‍ය කඳුකරයේ ද රජවරුන් ප්‍රධානීන් (පරුමක), ග්‍රාමනායකයන් (ගමණි) බමුණන්, ගෘහපතිවරුන්, කාර්මික ශිල්පීන්, භ්‍රමණයින් සිටි බව එහි හමුවී ඇති 80 කට අධික බ්‍රාහ්මී ශිලා ලේඛන වලින් හෙළි‍ වේ.

බත සුමනස තිසහ උපසික (සුම් නවා උපසක නිසලයා උපසක (කු) මරස ගපති දුටකස කුබකර දසික සුමනස මණිකර දතෙ පතික

මණිකර වුඩ සපතිකෙ මණිකර දනෙ පතික මණිකර වූඩ සපනිකෙ
(අංක 807 : වේගිරිය ලිපිය, පරණවිතාන, 1970, පි 62)

මවුඩි රජස මණිකරස ශිලා ඉතක කනයා අහකාසේ ගතාසේ
(අංක 730 : දෙමැදඔය ලිපිය, පරණවිතාන, 1970, පි 64)

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට පමණ අයත් වන මහනුවර වේගිරිය දේවාලයේ හා මාතලේ දෙමැදඔය ශිලාලේඛන වලින් පෙනී යන්නේ කුඹලුන් (කුඹකර), මැණික් කපන්නන් (මණිකර), ඇත්දත් කැටයම්කරුවන් (දටික) යන ශිල්පීන් එම යුගයේ ද මධ්‍ය කඳුකරයේ සිටි බව යි. රසවාහිනියේ ලංකාදීප උප්පත්ති කථා යට‍‍තේ දැක්වෙන අම්බාමච්ච කථාවෙහි (ඤාණවිමල, හංස: 1961:249) දැක්වෙන පරිදි රජරට නියං සමයක දී අම්බ අමාත්‍යයා සිය දාසයන් කැදවා මලය රටට ගොස් කහ (හලිද්දි) ඉගුරු (සිඹහිවෙර) ආදිය ගෙන ඒවා තැනින් තැනට දී වී ගෙනව් යැයි නියෝග කර ඇත. රසවාහිනියට අනුව මලය දේශයේ අමරුප්පල නම් ලෙන සමීපයේ නේසා ද ගමක් තිබී ඇත. මෙම ලෙන කොත්මලේ සමීපයේ තිබූ එකකි. වලගම්බා රජුගේ තිස නමැති ඇමතියා මෙම ලෙන තුළ සැගවී සිට ඇති බව ජනප්‍රවාදයේ එයි. නේසාද යනු රොඩී කුලයේ උප කුලය කි. ශිලා ලේඛන හා වංශ කථාගත තොරතුරුවලින් පෙනෙන්නේ කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ආගමික ස්ථාන සමාජ පංතීන් සහිත සංවිධිත සමාජ ක්‍රමයක් ක්‍රිස්තු පූර්ව සියවස්වල සිට ම මධ්‍යම පළාතේ තිබී ඇති බව යි.

ශිෂ්ටාචාරය ආශිර්වාදයක් වූ වියළි කලාපීය තැනිතලා ප්‍රදේශ සතුරු උවදුරු දුරභික්ෂ වසංගත නිසා ක්‍රමයෙන් අනාරක්ෂිත වෙද්දී වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය හසුරුවන පාලන මධ්‍යස්ථානය වූ රාජධානිය ගම්පොල, හඟුරන්කෙත, මහනුවර වැනි ආරක්ෂිත ප්‍රදේශ වලට දාහතර වන සියවසෙන් පසු වරින්වර මාරු විය. ක්‍රි.ව. 1592-1604 දක්වා පළමුවන විමලධර්මසූරිය ක්‍රි.ව. 1604-1635 දක්වා සෙනරත් ක්‍රි.ව. 1635-168 දක්වා දෙවන රාජසිංහ ක්‍රි.ව. 1687-1707 දක්වා දෙවන විමලධර්මසූරිය ක්‍රි.ව. 1707-1739 දක්වා නරේන්ද්‍රසිංහ ක්‍රි.ව. 1739-1747 දක්වා විජයරාජසිංහ ක්‍රි.ව. 1747-1781 දක්වා කීර්ති ශ්‍රී රාජසිංහ ක්‍රි.ව. 1798-1815 දක්වා ශ්‍රී වික්‍රමරාජසිංහ යන රජවරුන් මහනුවර රාජධානිය කරගෙන රට පාලනය කර ඇත. 1815 දී කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ පසු ද මධ්‍ය කඳුකරය ඔවුන ගේ වැවිලි ආර්ථිකයේ මධ්‍යස්ථානය විය. මහනුවර රාජධානි සමයේ ස්ථාපිත වූ කාර්මික හා කෘෂිකාර්මික වැඩවසම් සේවාගම් තව දුරටත් අඛණ්ඩ ව පැවතිණි. ඉංග්‍රීසි පාලන සමයේ දී රජමාළිගාවට අදාළ සේවාවන්වලට මෙම ගම්මාන බැදී නොසිටිය ද දළදා මාළිගාවට සතර දේවාලයට, ඇම්බැක්ක, ගඩලාදෙණිය දේවාලය ඇතුළු මධ්‍යම පළාතේ විහාරස්ථාන හා දේවස්ථානවලට අදාළ සේවාවන්ට බැදී සිටියේ ය.

මධ්‍ය කඳුකරයේ පරිසරය, මහනුවර රාජධාණි සමයේ හා ඉංග්‍රීසි පාලන අවධියේ ගොඩනැගුණු වාස්තු විද්‍යාත්මක හා වෙනත් සංස්කෘතික අංග නිසා දේශීය හා විදේශීය සංචාරකයින් ගේ ආකර්ෂණ ප්‍රදේශයක් වූ බැවින් ද මධ්‍ය කඳුකරයේ වැවිලි ආර්ථිකය අඛණ්ඩ ව පැවතී එන බැවින් ද වෙනත් ආර්ථික හා සමාජ හේතූන් නිසා ද මධ්‍යම පලාතේ ශිල්ප ගම්මානවල නිෂ්පාදනවලට (ඒවායේ ස්වරූපය වෙනස් වුව ද) අඛණ්ඩ ඉල්ලුමක් ඇත. එබැවින් එම ගම්මාන බොහෝමයක (විශේෂයෙන් මහනුවර අවට) පැවැත්ම තහවුරු වී ඇත. රන්, රිදී, පිත්තල වැනි ලෝහ කර්මාන්ත, ශිලා කර්මාන්තය, හණ, නියද හා පන්වලින් කරන කර්මාන්ත, ලාක්ෂා, වේවැල්, කුඹල් කර්මාන්ත, වාස්තු ශිල්පය ආදී ශිල්ප කර්මාන්ත මහනුවර නගරය වටා කේන්ද්‍රගත වීමත් කන්ද උඩරට රාජධානි සමයේ දක්නට ලැබේ.

ඇම්බැක්ක, ගඩලාදෙනිය, කිරිවවුල, කඩුගන්නාව, මංගලගම, ඒදඬුවාව, කිරිබත්කුඹුර, දවුලගල, තලවතුර, මීවතුර, ලුණුගම, ගම්පොල, මැදවල, මඩවල, නත්තරම්පොත, අරන්තන, දන්තුරේ, උල්ලදුපිටිය, නී‍ලවල, කෑරගල, වල්ගොව්වාගොඩ, ගෝවින්දගල, කුරුකුන්තල, මැද්දගොඩ, ගගුල්දෙනිය, යන ගම්වල අද දක්වාම රන්, රිදී, පිත්තල කර්මාන්ත පවතී. මාතලේ දිස්ත්‍රික්කයේ ඕවිල, ගුරුබැවිල, කෑගල්ල දිස්ත්‍රික්කයේ වේකොලදෙනිය, දනාගම, කොට්ටලබද්ද ගම් වල ද රන්, රිදී හා පිත්තල කර්මාන්ත පවතී. යටිනුවර යහලතැන්න, උඩුදුම්බර හදගනාව යහල, හේන්දෙනියේ යාලේගොඩ, ඉහල දුම්බර කන්ද, පල්ලේ කෝරළයේ යහල, යටි නුවර ගඟපළාත කෝරලයේ යහලතැන්න, උඩුනුවර ගඟ පළාතේ යාලේගොඩ, අකුරම්බොඩ, යමන්මුල්ල, කොත්මලේ හපුගස්තලාව, යහලේකුඹුර යන ස්ථාන එම ස්ථාන නාමය අනුව යපස් වලින් යකඩ පෙරූ ස්ථාන ලෙස සටහන් කළහැකි කොත්මලේ උඩපනේ කෝරළයේ සමන්තේගම, පාතදුම්බර, ගෝනාගම, මාතලේ, කඩුවෙල, මාතලේ කවුඩු පැලැල්ල, මාතලේ පල්ලේපොල, යටිනුවර පෑලව, තෙල්දෙණිය, උඩගම, ඉහළ හේවාහැට, උකුතුලේ, මාතලේ වරදමුණ, හාරිස්පත්තුව, යටිහලගල, පාතදුම්බර පල්ලේ ගම්පහ කෝරළය, මාතලේ අලුගොල්ල, යටවර පන්නගම, නාපාන ගල්බොඩවත්ත යන ගම්වල (යපස් වලින් යකඩ නිස්සාරණය කරන) යමන්නුන් සිටි බව ලොරි (1896-98) වාර්තා කරයි. ලෝහ ශිල්පීන් ගේ මෙම දැවැන්ත ව්‍යාපෘතියට ප්‍රබල හේතුවක් වන්නේ අතිදක්ෂ ශිල්පීන් උඩරට රජවරුන්ගෙන් නිදන්ගම් ලැබීම ය.

මෙම ලිපියෙ හි කොත්මලේ ඉතිහාසය මධ්‍යම පළාතේ ලෝහ කර්මාන්තයේ ව්‍යාප්තිය කෙරෙහි බැදී ඇති අයුරු සාකච්ඡා කිරීමට දීර්ඝ පෙරවදනක් ලියැවුණු එවැන්නක් පුළුල් පසුබිමක් තුළ සාකච්ඡා කිරීමට යි.

වංසකතාවල මධ්‍යම පළාත පිළිබඳ ව ඇති සඳහන් කිරීම් පවා අල්ප ය. එම අල්පයක් වූ සදහන් කිරීම් අතරට කොත්මලය සම්බන්ධ වී තිබේ. බෝධිවංශයේ සදහන් පරිදි (ගුණපාල සේනාධීර, 1970:280) ශ්‍රී මහා බෝධියේ ඵළරුහ බෝධීන් රෝපණය කළ ස්ථාන අතර කොත්මලේ පුසුල්පිටිය වේ. මධ්‍යම පළාතේ අනෙක් ස්ථානය මාතලේ රුසිගමයි. පුසුල්පිටිය පිහිටා ඇත්තේ නවත්ගමයි. පූජාවලිය, සිංහල ථූපවංශය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථවල කොත්මලේ ගැන සඳහන් වේ. වංසත්ථප්පකාසිනියෙහි කොට්ඨානාමක මලයේ යනුවෙන් කොත්මලේ ගැන සඳහන් වේ. කොත්මලේ ජනප්‍රවාද වලට අනුව දුටුගැමුණු රජුට නැකැත් සාදා දී ඇත්තේ කොත්මලේ නැකතින් විසිනි. රජුට අවශ්‍ය යුද්ධායුධ ද කොත්මලේ නිපදවූ බව කියති. කොත්මලේ ගණිතයා පිළිබඳ ඇති පුරාවෘත අනුව එම අතිදක්ෂ ගණිතයා දුටුගැමුණු රජුට නැකැත් තැනූ පරපුරේ ආභාසය ලබන්නට ඇත. දුටුගැමුණු කුමාරයා ආරක්ෂාව සඳහා කොත්මලේ කොටගෙපිටියේ ඌරුපැලැල්ලේ ගමරාළගේ ගුහාවේ සැගවී සිට ඇත. එහි සිටිය දී කුමරු ගමරාළ ගේ හරක් බැලීම හා පසුව දැනට රජතලාව යැයි හඳුන්වන ප්‍රදේශයේ අමුණු හතක අස්වැද්දීම කර ඇත. කුමාරයා එම කුඹුරු අස්වැද්දීමට කරවූ ඇළ, මැද මා ඇළ යැයි අද ව්‍යවහාර කෙරේ. කුමාරයා කම්මල්කරුවකු වෙතට ගොස් තමාට නඟුලක් සාදා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. කම්මල්කරු උරණ වී ගමරාළ ගේ වැඩකාරයන් වෙනුවෙන් තමා වැඩ නොකරන බව පවසා අවශ්‍ය නම් යබොර (බොරකැට) උණුකර නඟුලක් සාදා ගන්නා ලෙසට කියා ඇත. කුමරු උදුනට බොරකැට එකතු කර දැමූ විට ඒවා නගුලක් බවට පත් විය. කම්මල්කරු බියට පත්වී මේ ළමයා බල සම්පන්න අයෙකු විය යුතු යැයි තේරුම් ගෙන කුමරුගේ පාමුල වැටී සමාව ගෙන ඇත. මෙම ජනප්‍රවාදයට සම්බන්ධ ඓතිහාසික සාක්ෂි ඇත. කුමාරයා අසුන් කියා පියාණන් මළ ශෝකයෙන් අඩා වැළප කොත්ම‍ලයෙන් නික්මුණු (සිංහල ථූපවංශය පි 217) කොත්මලේ නවනගම පුසුල්පිටිය විහාරයේ බෝධිය අසළ ඇති ක්‍රි.ව. 1765 කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ කරවූ ලිපියක “ගැමුණු නරෝත්තමයා වැඩ සිටි ශෛල මස්තකයේ දාගැබ” යැයි සඳහන් වේ. තවත් ජනප්‍රවාදයකට අනූව පරාක්‍රමබාහු රජ විසින් ඇති දැඩි කරගත් කුමරියක වූ හෙණකද බිසෝ බණ්ඩාර කොත්මලේ බැද්දෙගොඩ මාළිගයක ජීවත් වී ඇත. ඇය මෙහි සිටිය දී රන් ආභරණ වලින් පත්තිනි දේවිය පිදීමට පත්තිනි දේවාලයක් කරවා ඇත (ලොරි පි 481).

දහ හතරවන සිය වසේ දී රාජධානිය උඩරට ස්ථාපිත වූ පසු රජ යටතේ සිටි අදිකාරම්වරු හතර දෙනාගෙන් දෙ වැනි අදිකාරම යටතේ සතර කෝරළය සබරගමුව උඩපළාත, උඩුනුවර, යටිනුවර තුන්පනේ සහ කොත්මලේ තිබී ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ (ක්‍රි.ව. 1741-1781) කොත්මලේ සහ උඩපළාතේ ආචාර්යවරුන් විසිහතරක් හංගිඩියා යටතේ රජුගේ ආයුධ ගෙයට සම්බන්ධ කර තිබිනි. හංගිඩියා යනු ශිල්පීන්ට රජුගෙන් එන නියෝග දැනුම් දෙන පුද්ගලයාය. කොත්මලේ කොට්ටල් බද්දක් තිබූ බව 1790 දී ලියැවුන සන්නසකින් හෙලි වේ. උඩ පළාතේ කොත්මලේ කොට්ටල්බද්ද හංගිලිවසම සඳහා ඇල්දෙනියේ රාජකරුණා, දේවසුරේන්ද්‍ර, මනුවීර, වික්‍රම, සිරින්, තරල්නා, විචිත්‍ර චිත්‍ර කර්මාන්ත නිර්මිත සකල ශිල්ප තිලක නවරත්න දවුණ්ඩ සිල්පාචරිය හට කුරුකුන්තලින් ඉඩම් දුන් බව 1790 ඇල්දෙනිය සන්නසින් ද ඔහුට ම දෙල්දෙනිය කොටලිගම මා මුදවෙල යටිනුවර හා උඩපළාත ගොඩගම ඉඩම් ප්‍රදානය කළ බව 1803 ඇල්දෙනිය සන්නසින් ද හෙලි වේ. මේ මගින් කොත්මලේ කොට්ටල් බද්ද වසම පුළුල් වූ අයුරු වටහා ‍ගත හැක. තුන් වැනි වික්‍රමබාහු රජු සමයේ ද (ක්‍රි.ව. 1356-1371) කොට්ටල් බද්දට අයත් පට්ටල් හතරෙන් රන්කඩු පට්ටලය ඇල්දෙනියේ තිබී ඇත. මහනුවර යුගයේ සිටි අතිදක්ෂ වාස්තු විද්‍යාඥයකු දැව කැටයම් ශිල්පියකු වන (මගුල් මඩුව හා පත්තිරිප්පුව නිර්මාණය කළ බවට ප්‍රසිද්ධ) දේවේන්ද්‍ර මුලාචාරියාගේ පියා කොත්මලේ වඩු කුඹුරේ ආචාරියෙකි. මව දෙවුන්දර ශිල්පී පරපුරක තැනැත්තිය කි. ඔහුගේ බිරිද ඇල්දෙනියේ ශිල්පී පවුලක ට අයත් විය. කර්මාන්තයේ යෙදෙමින් රජුට සේවය කලේ අරන්තන සිටයි. පසුව ඔහු ඇම්බැක්කේ පදිංචි විය. දෙවුන්දර, කොත්මලේ, ඇල්දෙනිය, අරන්තන, ඇම්බැක්ක යන ශිල්පී ගම්මාන පහකටත් ශිල්පියෙකුගේ ජීවිතය සම්බන්ධ වූ මෙම එක් නිදසුනෙන් ශිල්ප පරම්පරාවන් අතර ශිල්ප ක්‍රමවල සම්මිශ්‍රනයන් සිදු වූ ආකාරය වටහා ගත හැක. ඇම්බැක්කේ මනුවීර වික්‍රමගෙදර හා උඩුනුවර හන්දෙස්සේ අරන්තන ගෙදර පරම්පරාව දේවේන්ද්‍ර මුලාචාරීගෙන් පැවැත එයි. නාරායන, ආචාරි, දේවනාරායන පරම්පරා නාමවලින් ඔහුගේ ගෝල පරම්පරාව ‍හැදින්වේ (එම 12 13). කොත්මලේ දෙහින්තලාව, නවංගම කම්මල්කරුවන් පහතරට සිංහල‍යන් හා මුස්ලිම්වරු ජීවත් වන බව (ලොරි 1895-98-148) වාර්තා කරයි. කොත්මලේ හපුගස්තලාවේ යහලේකුඹුර ගැන ද (එම පි 326) වාර්තා කරයි. එම අවධියේ හපුගස්තලාවේ ශිල්පීන් වැඩිපුරම නිපදවා ඇත්තේ යකඩ සැරයටිය.

කොත්මලේ යන නම ඇතැම් විට ලෝහ කර්මාන්තය හා සම්බන්ධ වූවක් විය හැක. මලය යනු කන්ද යි. කොත්කන්ද කොත්මලය වූවා විය හැකි ය. නොමැති නම් කොට්ටල්මලය, කොට්මලය , කොත්මලය වූවා විය හැකිය. “පැරණි සිංහල යමාන්තු හෙවත් යපස් උනු කරන්නෝ කොත්මලය වැනි ප්‍රදේශවල ඇති යපස් දැව අඟුරු සමග පොළොවේ කරන ලද වලවල් දමා ගිනි දැල්වූ හ. පසුව එය වාතාශ්‍රය පිණිස සිදුරු සිටින පරිදි මැටි වැස්මකින් ආවරණය කොට දින ගණනාවක් දැවෙන්නට හැරියෝ ය”. කොත්මලේ යකඩ නිස්සාරන ක්‍රමය ගැන පාසල් පොත්වල (අභිනව සාමාන්‍ය විද්‍යා නිර්දේශ පත්‍රය 7 වන ප්‍රමාණය, 1960, පි. 206) සඳහන් මෙම ක්‍රමය පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කිරීමට හැකි වේ. නම් මයිනහම් රහිතව නිරිත දිගින් හමන මෝසම් සුළගේ ආධාරයෙන් ක්‍රියාත්මක වූ උදුන් ශ්‍රී ලංකාවේ ද මුල්වරට සමනළ වැව ජලාශය අවටින් වාර්තා වූවා සේ මයිනහම් රහිතව ක්‍රියාත්මක වූ තවත් උදුන් වර්ගයක් කොත්මලේ ජලාශය අවටින් සොයා ගැනීමට හැකිවනු ඇත.

කොත්මලේ ජලාශය නිසා කොත්මලේ නවංගම සිටි ශිල්පී පවුල් අවතැන් විය. 1980 වන විට නවංගම කම්මල් පවුල් 52ක් ජීවත් වී ඇත. උඩරට රාජාධානිය බිද වැටීමෙන් පසුව වුවද එතරම් පවුල් ගණනකට තම කර්මාන්ත පවත්වාගෙන යමින් නඩත්තුවීම ට හැකි වීමෙන් පෙනෙන්නේ රට තුළ ඔවුන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් තිබූබව යි. බලංගොඩ, ගම්පහ, නිකවැරටිය වැනි ප්‍රදේශවල කම්මල් වල අධ්‍යනවල දී එම ප්‍රදේශ වල කම්මල් කරුවන් වුව පිළිගන්නා කරුණක් වූයේ කොත්මලේ ආයුධ වලට හොද ඉල්ලුමක් ඇතිබව යි. එම නිසා බලංගොඩ ප්‍රදේශයේ කම්මල්වල නිෂ්පාදන පවා බලංගොඩ නගරයේ වුව ද ‍අලෙවි කරනුයේ කොත්මලේ තැනූ ඒවා බව සහතික කරමි. නිකවැරටියේ කැලේගම කම්මල් කරුවකු වන වත්තවඩුවේ ධර්මදාස ශිල්පියා පැවසුවේ කොත්මලේ වෑය ඉස්තරම් බවයි. ජලාශය ඉදිකිරීමෙන් පසු කොත්මලේ නවංගම සිටි කම්මල්කරුවන් අතරින් කොටසක් මාදුරුඔය ද කොටසක් ගම්පොල වැලිගග ද කොටසක් බලංගොඩ ද පවුල් දෙකක් කොත්මලේට නුදුරු හපුගස්තලාවේ ද පදිංචි වී ඇත. කොත්මලේට නුදුරු හපුගස්තලාවේ හල්ගොල්ල අංක 1 නැමති ස්ථානයේ පදිංචි එස්.පී. නවරත්න නමැති කම්මල් ශිල්පියාගෙන් ලබාගත් තොරතුරු ඇසුරින් වසර දහස් ගණනකට උරුම සම්ප්‍රදායක ශේෂ ලක්ෂණ වාර්තා කිරීමට හැකිවිය. නවරත්න කම්මල් කර්මාන්තය ඉගෙන ගෙන ඇත්තේ නවංගම සිටි හංගිලිගෙදර රත්නයිදේ ගෙනි. මෙම ශිල්පියා මෙම ගවේශනය සිදු කළ 1994.05.10 දින වන විට මාදුරුඔය පදිංචියට ගොස් සිටියේ ය. හංගිලිගෙදර යනු හංගිඩිගෙදරයි. එනම් කොට්ටබද්දේ ප්‍රධානියා ගේ ගෙදරයි. එම ප්‍රධානියා ගෙන් (හංගිඩියා) පැවත එන රත්නයිදේ කොත්මලේ නවංගම තාක්ෂණික සම්ප්‍රදාය ගැන මනා දැනුමක් ඇති සිටියෙකු බව නවරත්න පැවසී ය.

යපස් වලින් යකඩ නිස්සරනය කර ගත් ආකාරය ගැන දැනුමක් නවරත්නට නොමැත. කම්මල් කර්මාන්තය ගැන වුව ද සම්ප්‍රදායික ක්‍රම ගැන ඔහු ට එතරම් අවබෝධයක් නැත. ඔහුගේ කම්මල් දිවයිනේ සෙසු ප්‍රදේශ වල දක්නට නොලැබෙන අන්දමේ විශේෂිත වූවකි. එම වි‍ශේෂත්වය නම් පොළොව මට්ටමෙන් යට වලක සිටිමින් කම්මලේ නිෂ්පාදන කටයුතු කිරීම යි. දිවයිනේ බලංගොඩ ගම්පහ නිකවැරටිය, දඹුල්ල, මාතර, ගම්පොල වැනි සෑම ප්‍රදේශයක ම කම්මල් වල මයිනහම් හා උසුණුපිල තිබුණේ පොළොව මට්ටමෙන් අඩි දෙකහමාරක් පමණ ඉහලිනි. නමුත් මෙම කම්මලේ උසුණුපිල හා මයින හම තිබෙන්නේ පොළොව මට්ටමේ ය. උසුණුපිලට ඉදිරියෙන් ඇති සෙ.මි 50ක් පමණ ගැඹුරු සෙ.මී. 125ක් පමණ උස දිග සෙ.මී. 60ක් පමණ පළල වලක බැස සිටින ශිල්පියාට වල වටා ඇති කම්මල් බිම (වල වටා තුන් පැත්තක්) මේසයක් (working table) ලෙස භාවිත කිරීම ට හැකි ය. මයිනහම ඇදීම, යකඩ ගිනියම් කිරීම, මට්ටම් කිරීම, හැඩ ගැසීම, කැපීම, විදීම, පන්නරය තැබීම ආදී සියලු කටයුතු, වල තුළ සිටිමින් කළ හැක. එක් එක් කාර්යයන් සදහා කම්මල තුළ තැනින් තැනට යාමට ඔහුට සිදු නොවේ. මේ නිසා ඔහුගේ කාර්යක්ෂමතාව ඉහළ යයි. ඔහුට උවමනා මෙවලම් ද ඔහු නිමවන මෙවලම් ද වල වටා තබා ‍ගැනීමට හැකි ය.

කම්මලේ ඉන්ධනයක් ලෙස වර්තමානයේ භාවිත වන්නේ පොල්කටු අගුරු නමුත් දැව අගුරු භාවිතය ගැන වැටහීම ඔහු ට ඇත. දුම් ගස ඉතා හොඳ අඟුරු ලබා දුන් ගස් වර්ගය කි. වීර හා සැවන් ඉදල අඟුරු ද හොඳ ය. මෙම දැව වර්ග හිගවූ පසු කිතුල් හා ගිනිසීරිය (ලොකු ගස්) ද භාවිත කර ඇත. දැව අඟුරු සකසා ගත් ක්‍රමය මෙසේ ය. “දර ඇති ප්‍රමාණය අනුව වලක් කපා වල පතුලේ ගිනි මොලවා ඒ මත දර තැන්පත් කරයි. දහනය වෙමින් දැව කැබලි යට ට කිදා බසිද්දී ඉතිරි ව ඇති දැව කැබලි ද දැවෙමින් තිබෙන දර මතට දමයි. ගිනි දැල් නිවී යාම ට ආසන්න වෙද්දී අමු කොළ අතු වලින් වල ආවරණයකර තම ආවරණය මත ට පස් දම යි. ගිනි දැල් නිවී යාම ට ආසන්න වෙද් දී අමු කොළ අතු වලින් වල ආවරණය එම ආවරණය මතට පස් දමයි. දින දෙකකට පසු ආවරණය ඉවත් කර අගුරු ඉවතට ගනී.” මයිනහම තනා ගැනීම සඳහා අඹ ලෑලි හෝ සපු ලෑලි භාවිත කර ඇත. වර්තමානයේ පදම් කළ හරක් හම් වෙළෙඳ පොළෙන් ගෙන මයින හම සඳහා යොදා ගත්තත් අතීතයේ ‍ඔවුන් තමන්ම හම් පදම් කර ගෙන ඇත. හරක් හම් පදම් කර ගැනීමට වෙල්අල කොළ ලුණු සමඟ මුට්ටියකට දමා පැසෙන්නට හැර සෙවෙල සෑදුනු පසු එම සෙවල හරක් හම මතුපිට හම් තුනී වන තුරු පාහයි. හොදින් තුනී වූ පසු වියලා මයින හමට යොදා ගනී. කිණිහීර හා මිටිය කම්මලේ ම තනාගෙන ඇත. කම්මලේ තනා ගත් මිටිය ට සිංහල මිටිය යැයි කියති. ආයුධ පන පෙවීමට තෙල් ඔරුව භාවිත කරයි. වර්තමානයේ තෙල් ඔරුව සඳහා පොල්තෙල් හෝ දැවි තෙල් යොදා ගනිතත් අතීතයේ යොදා ඇත්තේ කැකුණ තෙල් ය. ආයුධ මිටි ගැසීමේ දී උදලු මිට සඳහා කිතුල් ද කැති මිට සඳහා කෝපි හෝ කිතුල් ද පිහියා මිට සඳහා ගංසූරිය හෝ කපු යොදා ගනී. කම්මලේ නිෂ්පාදනය වූ පිහියා (තේ පිහියා හෙවත් වක් වූ ලොකු පිහියා, මේස පිහියා) කැති, හිරමණ වැනි උපකරණ සඳහා වෙ‍ළඳපොළ වතු කම්කරුවන් අතර යි.

තම කර්මාන්තය කොත්මලේ නවත්ගම සිටිය දී දියුණු මට්ටමක තිබුණත් හපුගස්තලාව ට පැමිණි පසු ඉන් ලැබෙන ආදායම ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවන බව නවරත්න පැවසී ය. කොත්‍මලේ මෙවලම් වලට තිබුණු ප්‍රසිද්ධිය නිසා එකල එහි නිෂ්පාදන වලට හොද වෙළෙඳ පොලක් තිබුණි. එම ශිල්පීන්ම වෙනත් ප්‍රදේශයක දී එම නිෂ්පාදනම කරතත් ඒවාට ඉල්ලුම නැත්තේ පාරිභෝගික පිළිගැනීම නව ස්ථානයකට නොමැති බැවිනි. එවිට කර්මාන්තයේ පැවැත්ම අනතුරට ලක් වේ. මේ නිසා කොත්මලේ තාක්ෂණික සම්ප්‍රදායයන් වේගයෙන් අතුරුදහන් වෙමින් තිබේ. කොත්මලේ ශිල්පී පවුල් වලින් පැවත එන ශිල්පීහු මහනුවර අවට රන්, රිදී, පිත්තල කර්මාන්ත වල නියැලී සිටිති. ඔවුන් ගේ ශිල්ප ක්‍රම ද වේගයෙන් වෙනස් වේ. ඒ හැරත් මේ ශිල්පී ගම්මාන වල කම්මල් කර්මාන්තය නොමැත. යටත් විජිත යුගයේ විදේශීය වානේ ලංකාවේ වෙළෙඳ පොළ ආක්‍රමණය කළ කර්මාන්ත අඛණ්ඩව පැවතියේ, එහෙත් ක්‍රමයෙන් අභාවය කර ළඟා වෙමිනි. විදේශ වෙළඳපොළ දේශීය වෙළඳපොළ ආක්‍රමණය කළ පසුගිය දශක දෙකේ දී කම්මල් කර්මාන්තය අභාවය කරා යාමේ ගමන වේගවත් විය. ආර්ථික හේතු මෙන්ම කුල භේද වැනි සමාජ හේතූන් ද මෙයට බලපෑවේ ය. කොත්මලේ නවංගම ඇතුළු සියලුම කම්මල් ස්ථාන මෙලෙස අභාවයට යමින් තිබිය දී කොත්මලේ ජලාශයට නවංගම යට වී ගියේ සියවස් ගණනාවක එහි ඉතිහාසය සමඟ ය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  • මොරටුවගම, එච්.එම්. (සංස්), (1996), සිංහල ථූපවංශය, රත්න පොත් ප්‍රකාශකයෝ, පිටකෝට්ටේ.
  • ඤාණවිමල හිමි, කිරිඇල්ලේ,  (සංස්), (1961) රසවාහිනී, ගුණසේන, කොළඹ.
  • සේනාධීර, ගුණපාල, (සංස්), (1970) බෝධිවංශය, අනුල මුද්‍රණාලය, කොළඹ 10.
  • තිලකසිරි, ජයදේව (1997) ශ්‍රී ලංකාවේ පාරම්පරික ශිල්පීන්ගෙන් පැවත එන පවුල් පිලිබඳ සමීක්ෂණයක්, චතුර මුද්‍රණාලය , වැල්ලම්පිටිය.
  • කෙහෙල්ගමුව, පී.බී. (1935) කොත්මලේ පුරාවෘත්ත, ජිනාලංකාර යන්ත්‍රාලය, කොළඹ.
  • සෙවිරත්න, එස්. (1994). ඓතිහාසික මහනුවර, වාරියපොල සුමංගල විද්‍යාලය, මහනුවර.
  • Lavrie, A.C.  (1898),  A gazetteer of central province, vol: I and II, Govt. Printing.
  • Paranavitana, S. (1970), Inscription of Ceylon, vol. I, Dept. of Archaeology, Colombo.

නොදිය විය යුතු දියතරිප්පු: දියතරිප්පු නිර්මාණ ක්‍රියාවලිය හා සම්බන්ධ සමාජ හා තාක්‍ෂණික පසුබිම පිළිබඳ මූලික විමර්ශනයක්

චන්දිම බණ්ඩාර අඹන්වල

තාවකාලික කථිකාචාර්ය (2008-10), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ෙප්රාෙදණිය විශ්වවිද්‍යාලය, ෙප්රාෙදණිය.

chandimaambanwala@yahoo.com

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම අඹන්වල

පිවිසුම

“සත්‍ය ලෙස ජීවන කලාවේ ප්‍රගමණය පිළිබඳ සාක්ෂි වශයෙන් ගිණිය හැක්කේ අවශ්‍යතාවන්ගේ ස්වභාවය (ගුණය) විනා සංඛ්‍යාව නොවේ. නූතන සිංහල රුචිය ගැන දන්නා කිසිවෙක් අවශ්‍යතාවන්ගේ ස්වභාවය (ගුණය) පිළිබඳ යම් කිසි දියුණුවක සාක්‍ෂි එයින් පහළ වෙති යි බොරුවට නො හඟවති. සත්‍ය වශයෙන්, සංඛ්‍යාව, විවිධත්වය හා නවතාව යන කරුණු ස්වභාවය (ගුණය) හා නියම ලෙස අත්වැල් බැඳ නොයන බව සෑහෙන තරම් පැහැදිලි ය.”

“මධ්‍ය කාලීන තත්ත්වයන් යටතේ පෙර දිග හා අපර දිගත්, නූතන තත්ත්වයන් යටතේ අපර දිගත්, අපර දිග බලපෑමේ විපාක වශයෙන් පහළ වූ තත්ත්වයන් යටතේ පෙර දිගත් පැවැති කලාශිල්ප පිළිබඳ පර්යේෂණයකින් කලාව හා ජීවිතය අතර පවත්නා සත්‍ය හා ව්‍යාජ සම්බන්ධතා පිළිබඳ යමක්-කමක් උගත හැක.”

ලාංකේය සුළු කලාශිල්ප අධ්‍යයනය කළ පර්යේෂකයන් අතර ප්‍රාමාණික විද්වතෙකු වූ ආචාර්ය ආනන්ද කෛන්ටිෂ් කුමාරස්වාමි පෙන්වා දෙන පරිදි කලාව හා ජීවිතය අතර පවත්නා සත්‍යතා හා සමාජ සම්බන්ධතා පිළිබඳ ව අධයනය කිරීමෙහිලා ලාංකේය පූර්ව කාර්මික හෙවත් මධ්‍ය කාලීන කලාශිල්ප අධ්‍යයනය කිරීම අතිශයින් ම ප්‍රඥාගෝචර වෙයි. එ බැවින් ලාංකේය ශිල්ප ප්‍රගුණත්වය මැනවින් නිරූපණය කරන්නා වූත්, ක්‍ෂුල්ල පරිමාණයෙන් හෝ අද දිනය වන විට පැවැත්ම තහවුරු කොටගෙන ඇත්තා වූත්, දියතරිප්පු නිර්මාණ හා එහි ක්‍රියාවලිය පිළිබඳ හුදු කම්පාවීමෙන් පමණක් සෑහිමට පත් නොවී සමාජ-තාක්‍ෂණික ස්වරූපයකින් අධ්‍යයනය කිරීම මෙහි දී අභිප්‍රේරිත ය.

මහනුවර පිත්තල ත්‍රිකෝණය තුළ, ගඩලාදෙණි විහාරයට ආසන්න භෞමික පරිස්තිථියක අදටත් ජීවමාන අයුරින් පැවැත එන දිවයිනේ එක ම පාරම්පරික දියතරිප්පු නිර්මාණ ශිල්පියා (අවම වශයෙන් එසේ කියන) හා ඔහු ගේ නිර්මාණ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයක මූලික විස්තරයක් මෙහි දී ඉදිරිපත් කෙරේ. පළිඟු හෙවත් දියතරිප්පු ආදි අර්ධ මාණික්‍යමය වටිනාකමින් යුත් පාෂාණ භාවිත කරමින් සාම්ප්‍රදායික ශිල්ප උපක්‍රම භාවිත කරමින් සිදු කරන නිර්මාණ දියතරිප්පු නිර්මාණ වශයෙන් හඳුනා ගැනේ.

ක්‍ෂේත්‍රයේ ස්ථානගත වීම හා ප්‍රවේශය

අධ්‍යයනයට ලක්වන දියතරිප්පු නිර්මාණ ශිල්ප පරම්පරාවේ අඛණ්ඩ ස්ථානගත වීම, නො එසේ නම් පාරම්පරික නිජබිමේ ස්ථානගත වීම සාපේක්‍ෂ ආකාරයෙන් සලකා බැලිය හැකි ය. ඒ අනුව, ශ්‍රි ලංකාවේ මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, කිරිවවුල ග්‍රාමනිලධාරි වසමේ කහඹේ යන ස්ථානයේ මෙම ශිල්ප පරම්පරාව හමු වෙයි. කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව උප නගරය පසුකොට පිළිමතලාව-පරණපට්ටිය මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන්ගත් විට හමුවන කහඹේ හන්දියෙන් වම් පසට දිවෙන පොල්වත්තේතැන්න මාර්ගයේ මීටර් 150ක් පමණ ගමන් කළ විට අදාළ ස්ථානය ට ප්‍රවේෂ විය හැකි වෙයි.

ඓතිහාසික පසුතලය

සැලැකිය යුතු කලා ශිල්පයක් වශයෙන් ඇගයීමට පාත්‍ර විමට සෑම අතින් ම සුදුසුකම් සපුරා තිබුණ ද දියතරිප්පු නිර්මාණය පිළිබඳ ව යටගියාව සම්පූර්ණයෙන් ම පාහේ අද වන විට වියැකී පවතී. දිවයිනේ මධ්‍ය කාලීන ශිල්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත නිබන්ධනයක් සැපැයූ ආචාර්ය ආනන්ද කෙයින්ටිෂ් කුමාරස්වාමි වැන්නන් ගේ අධ්‍යයන පරාසය තුළින් පවා මෙම ශිල්පය මඟ හැරී තිබීම එක් අතකින් පුදුම උපදවන සුලු ය. එහෙත් නිර්මාණකරණ ශිල්පියා පවසන අන්දම ට හා පසු කාලීන ව ප්‍රබන්ධ වූ කවියකට අනුව ගම්පොල රාජධානි සමයේ සිවු වැනි බුවනෙකබාහු රජුට මෙම ශිල්ප පරපුරේ ආදිතමයෙකු විසින් ඔටුන්න සඳහා සිළුමිණක් නිර්මාණය කරදුන් බව සඳහන් වෙයි. මෙ වැනි මානවවංශ විද්‍යාත්මක කරුණු හා නිර්මාණකරණ ක්‍රමවේදයට අයත් තාක්‍ෂණික ස්වරූප සලකා බැලීමේ දී මෙම ශිල්පය අවම වශයෙන් අදින් වසර සිය ගණනක යටගියාවක ට හිමිකම් කියන බව තහවුරු වෙයි.

අභිචාර හා සාහිත්‍ය

අධ්‍යයනයට ලක්වන අවස්ථාවේ ශිල්පියාගේ විස්තර අනුව උදෑසන බුදුහිමියන් සිහිකරමින් සිදු කරන මල්පහන් පිදීම හැර වෙනත් අභිචාරමය හෝ කෙත්පහන් ක්‍රමවේදයක් තත් ශිල්පය හා බැදි ඇති බවක් අනාවරණය නොවේ. ඕනෑම නිර්මාණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් කවි හා ප්‍රබන්ධ සාහිත්‍යයක් හඳුනාගත හැකි වුවත් තත් ශිල්පය සම්බන්ධයෙන් එ වැන්නක් අද වන විට ශේෂගත වී ඇති බවක් පෙනී යන්නේ නැත. නො එ සේ නම් ඒ සම්බන්ධ මතකය අදාළ ශිල්පීන්ගෙන් සම්පූර්ණයෙන් ම ගිලිහී ගොස් හමාර ය. එහෙත්, ශිල්ප පුවත් නම් ප්‍රකාශනයකින් ප්‍රසිද්ධිය ට පැමිණි, මෑත කාලීන ව ප්‍රබන්ධ වූවා යැයි සිතිය හැකි කවි පෙළක් පමණක් සපයාගත හැකිව පවතී.

සිළුමිණි ලෙසින් ලක සේසත් නඟ මින්න – සිළුමිණි සිරින් රජ කල රජවරු දුන්න

සිළුමිණි නමින් පෙර සිට නෙත තෙ තුපුන්න -සිළුමිණි නමින් අප පරපුර ඇති මෙන්න

බුවනෙකබාහු සිවු වෙනි මහ රජ දවස – කිරුලක අගමිනක් සාදා දී විගස

සිරිලක පවතින් ට අප පරපුර වෙසෙස – හසුනෙක ලියා දී සිළුමිණි නම සතොස

නෙත් ලෙස පතල මිණිකම් ගුණමිණ රවරේ – සන්තොස පුද පඬුරු දෙවමින් වන තේරේ

සිව්දස මුනෙක කිරිවවුලේ උඩු නුවරේ – සන්නස දේවී අපේ මුත්තනු හට එවරේ

අවුරුදු එතැන් සිට පන්සිය හැත්තෑ තරම – පිරිසිදු ලෙසින් කර කණ්ණඩි ඇස් කැපුම

මහ පුදුමයට දියුණුව ලැබ පර පුරම – පරිසිදු වී මුළු ලක්දිව හැම තැනම

විදෙස් ප්‍රන්ස එංගලන්තය ද ජර්මණි – අපි ගොස් තුටු පඬුරු ලැබ නැවත ආ තැණි

වේල්ස් කුමරු උතුමන්ගේ ලක් පැමිණි – උසස් ලෙස මැඩොල් සහතික ලත් තුටිණි

පරපුර

chulamani-gedara-gunasoma-diyatarippu-kandy-sri-lanka-chandima-ambanwala
චූලාමණි ෙගදර ගුණෙසා්ම

අධ්‍යයනයට බඳුන් වන චූලාමණි ගෙදර ගුණසෝම ශිල්පියා මෙම ශිල්ප කර්මාන්තය සම්බන්ධයෙන් පැවැත එන දිවයිනේ නෂ්ටප්‍රාප්ත අවසන් ශිල්පියා බව ඔහු ප්‍රකාශ කරයි. එබැවින් ඔහු ගේ ශිල්ප පරම්පරාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කොට තැබීම වැදගත් වෙයි. වරහන් තුළ එම ශිල්පීන් උපන් වසර දැක්වෙයි.

චූලාමණි ගෙදර ඩිංගිරි අප්පු (1800?) – මුත්තා

චූලාමණි ගෙදර ඩිංගිරි නයිදේ (1888) – අත්තා

චූලාමණි ගෙදර සියදෝරිස් හාමි (1928) – පියා

චූලාමණි ගෙදර ගුණසෝම (1955) – වර්තමාන

ඒ අනුව, පියපුතු පරම්පරා 4ක් පිළිබඳ විස්තර අපට අනාවරණය කරගත හැකි වෙයි. මෙම ශිල්පයේ දිවිමන් ශිල්පී චූලාමණි ගෙදර ගුණසෝම පවසන අන්දමට මෙම ශිල්පීන්ගේ සම්භවය සම්බන්ධයෙන් නිසැක මතකයක් තමනට නොමැත. තමන්ගේ මුත්තාගෙන් අත්තාටත්, අත්තාගෙන් තම පියාටත්, තම පියා වෙතින් තමනටත් මෙම ශිල්පය දායාද විය.

ක්‍රමවේදය හා උපකරණ

විධිමත් අධ්‍යයනයක් සඳහා එම අධ්‍යන පරාසය තුළින් ම ඉස්මතු වන්නා වූ ක්‍රමවේදයක් අත්‍යවශය වෙයි. අධ්‍යයන මාතෘකාවට සාපේක්‍ෂක ව එම ක්‍රමවේදය තුළින් මාතෘකාවට අදාළ බොහෝ තොරතුරු විධිමත් අයුරින් පාදා ගැනීම අපේක්‍ෂිත අතර නිසි ක්‍රමවේදය නිරවුල් අර්ථ ව්‍යාක්‍යානයටත්, ඉදිරිපත් කිරීමටත් ආදාර වෙයි. ඒ අනුව මෙම අධ්‍යයනය සඳහා මානවවිද්‍යාත්මක හා මානවවංශ පුරාවිද්‍යාත්මක ක්‍රමවේද භාවිතයට ගැනීමට සිදු වූ අතර සහභාගි නිරීක්‍ෂණය, ජීවන අද්දැකීම් ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා යන ක්‍රමවේද භාවිත කරන ලදී. මූලික දත්ත අනාවරණය කර ගැනීම සඳහා පුස්තකාල ගවේෂණයක් ද දියත් කරන ලද අතර ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ කටයුතු 2009 අගොස්තු 31, 2009 සැප්තැමිබර් 04 යන දිනයන්හි දි සිදු කරන ලදී.

උපකරණ : ඩිජිටල් කැමරාව, හඩ පටිගත කරණය

දියතරිප්පු නිර්මාණ හා ක්‍රියාවලිය

දියතරිප්පු නිර්මාණ හා සම්බන්ධ ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා මින් ඉදිරියට ඉඩ පාදා ගන්නා අතර එහි දී නිර්මාණය සඳහා යෝග්‍ය අමුද්‍රව්‍ය තෝරා ගැනීමේ සිට නිර්මාණයක් සම්පූර්ණයෙන් නිමවා අවසන් කොට ගැනුම්කරුට ඉදිරිපත් කිරීම දක්වා අදියර සැකෙවින් සලකා බැලේ.

නිර්මාණය කරන භාණ්ඩ

අධ්‍යයනය තුළින් ලද තොරතුරු අනුව පාරම්පරිකව පැවැත එන මෙම ශිල්පියා විසින් භාණ්ඩ වර්ග කීපයක්ම නිර්මාණය කරන බව හඳුනා ගැනීමට හැකි විය. ඒ අනුව, ස්තූපයන්ගේ පැලැද වීම සඳහා චූඩාමාණික්‍ය, ඇස් කණ්ණාඩි, වළලු, කුඩා ප්‍රමාණයේ චෛත්‍යය, විසිතුරු ගල් හෙවත් පෙන්ඩන්ට් හා මාල පෙති ආදිය ෙමාවුන් නිමවයි. මේවා අතුරින් ප්‍රධාන හා අනිවාර්ය නිර්මාණ ලෙස චූඩාමාණික්‍යය හා ඇස් කණ්ණාඩි කැපී පෙනේ.

diyatarippu-kandy-sri-lanka-chandima-ambanwala-archaeology-lk
අැස් කණ්ණාඩි (වෙම්), විසිතුරු ගල් (මැද), වළලු (දකුෙණ්)
chudamanikya-diyatarippu-kandy-sri-lanka-chandima-ambanwala
විවිධ ප්‍රමාණෙය් චූඩාමාණික්‍යය

අමුද්‍රව්‍යය

මෙම නිර්මාණ ක්‍රියාවලිය සඳහා ශිල්පීන් විසින් අමුද්‍රව්‍ය ලෙස පාෂාණ භාවිත කරන අතර ඔවුන්ගේ ව්‍යවහාරය අනුව, පළිඟු හෙවත් දියතරිප්පු හා බිම් වීදුරු යන අමුද්‍රව්‍යය ප්‍රධාන වශයෙන් යොදා ගනී. බිම් වීදුරු අවර්ණ හා කොළ ආදී වර්ණයන්ගෙන් යුක්ත වන අතර පළිඟු අවර්ණ හා කළු පැහැයට හුරු වර්ණයන්ගෙන් (කහට පළිඟු ) යුක්ත වෙයි. නිර්මාණ ක්‍රියාවලියේදී පාෂාණ ඔප දැමීම සඳහා ඇඹරුම් ද්‍රව්‍ය ලෙස භාවිත කරන කට්ට නම් ගල් විශේෂයක් ද පවතින අතර එම ගල් කුඩු කර සාදා ගන්නා කුඩු කුරුදු කියා ව්‍යවහාර වෙයි. මෙම අමුද්‍රය්‍ය වන පළිඟු හා දියතරිප්පු රත්නපුර ප්‍රදේශයෙන් හා මැණික් කට්ට රත්නපුරය හා ඇලහැර ප්‍රදේශයෙන් සපයා ගන්නා බව කියයි. අඟල් 6ක පමණ පළිඟු ගලක් මිලදී ගැනීම සඳහා රුපියල් 20,000.00ක පමණ මිලක් වැයවන බව ගුණසෝම ප්‍රකාශ කරන ලදී.

දියතරිප්පු නිර්මාණ ක්‍රියාවලියේ දී භාවිත උපකරණ හා මෙවළම් දියතරිප්පු නිර්මාණ ක්‍රියාවලිය හා සම්බන්ධ වනුයේ උපකරණ හා මෙවළම් ස්වල්පයක් වන අතර ඒවා සංකීර්ණ උපකරණ හා මෙවළම් නොවීම යන ගුණය අතින්, වෙනත් සුළුකලා නිර්මාණ සමඟ සාම්‍යයක් අත්කර ගනී. වර්තමානයේ පවත්නා වානිජවාදී හා තාක්‍ෂණික වර්ධනයේ ආභාසය ලබමින් මෙම ශිල්පීන් සාම්ප්‍රදායික උපකරණ හා මෙවළම් සඳහා විවිධ ආදේශන කිරීමට පෙලඹී ඇති සෙයක් ද හඳුනගත හැකි වෙයි. අතින් ක්‍රියාකරවන ලියවන පට්ටලය සඳහා විදුලියෙන් ක්‍රියාත්මක මෝටරයක් භාවිත කිරීම එක් උදාහරණයක් පමණි. එහෙත් පැරැණි තාක්‍ෂණික ස්වරූපය විදහා දක්වන අදවන විටත් ශේෂගත උපකරණ හා මෙවළම් පිළිබඳ ව මෙහිදී සලකා බැලේ.

pattalaya-diyatarippu-kandy-sri-lanka-chandima-ambanwala
පට්ටලය ක්‍රියාත්මක කරන අාකාරය

අ) පට්ටලය : නිර්මාණයකට උපයෝගි කොටගන්නා පාෂාණයක් මූලික වශයෙන් හැඩගසා ගැනීම හා රටා කපා ගැනීම, පාෂාණයේ කොටස් වෙන්කර ගැනීම ආදි ක්‍රියාකාරකම් පට්ටලය උපකාරයෙන් සිදු කරයි. පට්ටලය ක්‍රියාකරවීම සඳහා දුන්න භාවිත කරන අතර ඒ සඳහා භාවිත ලීය ලෙස පූවක් කීරක් භාවිත කරයි. දුන්නෙහි යොත හෙවත් මුවහං පටිය වශයෙන් මුවාගේ හමින් කළ පටිය වඩා යෝග්‍ය වුව ද වර්තමානයේ මුවහම් සපයා ගැනීමේ දුෂ්කරතාව නිසා ඒ වෙනුවට විකල්ප වශයෙන් කොහු ලණුවක් භාවත කරනු ලැබේ. පට්ටලය ක්‍රියාත්මක කිරීම එක් පුද්ගලයෙක් විසින් සිදු කරයි. දකුණු අතින් දුන්න ක්‍රියාත්මක කරන අතර වම් අතින් පාෂාණය අල්ලා අවශ්‍ය හැඩගසා ගැනීම සිදු කරයි. මේ අවස්ථාවේ පට්ටලයේ තලයට කුරුදු (හෙවත් කැපුම් කුඩු) දැමීම වෙනත් පුද්ගලයෙක් විසින් සිදු කළ යුතු වෙයි. එහෙත්, ප්‍රමාණයෙන් විශාල චූඩාමාණික්‍යය ආදිය නිර්මාණකරණ කටයුතු සිදු කරන විට දුන්න ක්‍රියාත්මක කිරීම, ගල තලයට ඇල්ලීම හා කුරුදු දැමීම සඳහා පුද්ගලයන් තිදෙනෙකුගේ සහභාගීත්වය අවශ්‍ය කෙරේ. යකඩ ලෝහයෙන් කළ තලය පට්ටලයට සවි කිරීම සඳහා ශිල්පීන් විසින් මිශ්‍රණයක් භාවිත කරන අතර එය පන්දම නමින් හඳුන්වයි.

පන්දම සකස් කිරීම ගඩොල් කුඩු 250ට උළු කුඩු 200ට පොල් තෙල් 100ට දුම්මල 50ට යන ද්‍රව්‍යය පන්දම සකස් කිරීම සඳහා භාවිත කරයි. මුලින් ම ගඩොල් කුඩු, උළු කුඩු, දුම්මල යන ඒවා හොදින් කුඩු කරගෙන පෙනේරයෙන් හලා ගනී. අනතුරුව දුම්මල, තාච්චියක ලා ගින්නෙන් හැදි ගා ගන්නා අතර පදම් වන අවස්ථාවේ දී ගඩොල් කුඩු හා උළු කුඩු මිශ්‍ර කර ගනී. මෙම මිශ්‍රණය උපයෝගි කොට ගනිමින් පට්ටලයේ භ්‍රමණ අක්‍ෂ ලීය හා තලය සවිමත් අන්දමින් සවිකර ගනු ලැබේ.

ආ) අල්ලුව : ඇස් කණ්ණාඩි නිර්මාණකරණ ක්‍රියාවලියේ දී ඇහැ (හෙවත් කණ්ණාඩිය) නිර්මාණය, ඔප දැමීම ආදී ක්‍රියාකාරකම්වලදී ඇහැ රදවා තැබීම සඳහා මෙම උපාංගය භාවිත කරනු ලැබේ. මේ සඳහා සපු දැවයෙන් කළ අල්ලුවක් උපයෝගි කොට ගනී. එම අල්ලුවට ඇහැ සම්බන්ධ කිරීම සඳහා විශේෂ මිශ්‍රණයක් භාවිත කරයි. මෙම මිශ්‍රණය ඉටි 50 ට ලාම්පු දැලි 25 ට භාවිතයෙන් සකස් කරන අතර පළමු ව තාච්චියකට දමා ඉටි උණු කරගෙන පසුව එයට ලාම්පු දැලි මිශ්‍ර කොට රොටියක් මෙන් සකස් කර ගනී. ඇළවීම හා ආපසු ගැලවීම, පොල් කට්ටකට ගන්නා ගිණි අඟුරු උපකාරයෙන් රත් කිරීම මඟින් සිදු කරනු ලබයි.

ඇ) ඔට්ටු ගල හෙවත් ඇහැ සකස් කිරීමට භාවිත ගල : සිලින්ඩරාකාර තිරුවාණා ගලක් වන මෙම ගල උපකාරයෙන් ඇහැ නියමිත අයුරින් සකස් කිරීම සිදු කරනු ලබයි.

ඈ) ඔප දමන ලීය : ඔට්ටු ගලේ ඇතිල්ලීමෙන් සකස් කර ගන්නා ලද ඇහැ ඔප දමා ගැනීම සඳහා අඩි 4ක් පමණ දිග ලීයක් භාවිත කරන අතර ඒ සඳහා එරමුදු දැව භාවිත වෙයි. එරමුදු දැවයේ පවත්නා මෘදු බව එරමුදු දැවය මේ සඳහා තෝරා ගැනීමට හේතුව බව ශිල්පියාගේ අදහසයි. ඔප දැමීමේදී ලිහිසි ද්‍රව්‍ය වශයෙන් වඩිය භාවිත කරයි.

වඩිය සකස් කිරීම දියතරිප්පු ගල් ගින්නෙන් පුළුස්සා කුඩුකර පෙනේරයෙන් හලා ජලය දමා මිදී තැම්පත් වීමට ඉඩ හරී. මෙම මන්ඩි වතුර සමඟ මිශ්‍ර කොට ඔප දැමීමේදී වඩිය ලෙස භාවිත කරයි.

නිර්මාණ ක්‍රියාවලියේ අදියර

අ) හැඳින්වීම : දියතරිප්පු නිර්මාණ ශිල්පියා විසින් සිදු කරන නිර්මාණ කීපයක් හඳුනාගත හැකි බව ඉහත දී පෙන්වා දී ඇත. මෙම නිර්මාණ සියල්ලේදීම පාහේ අනුගමනය කරන ක්‍රමවේදය සාම්‍ය ස්වරූපයක් ගන්නා බව මූලික අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වෙයි. එබැවින් මෙම නිර්මාණ අතුරින් කුතුහලය වඩාත් ජනනය කරන්නා වූත්, වඩා විශිෂ්ට නිර්මාණය වූත් ඇස් කණ්ණාඩි නිර්මාණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මෙම නිර්මාණ ක්‍රියාවලියේ අදියර පිළිබඳ සලකා බැලීම වඩා යෝග්‍ය වේ. නිර්මාණ ශිල්පියා විසින් තිස් ඇඳිරිය, හතලිස් ඇඳිරිය හා හැට ඇඳිරිය ආදී වශයෙන් වයස් පරතරය පදනම් කොට ගනිමින් තම නිර්මාණ වර්ග කරයි.

ආ) පාෂාණය තෝරා ගැනීම හා අමුද්‍රව්‍ය : උක්ත සඳහන් කළ පරිදි රත්නපුරයෙන් සපයා ගන්නා පළිඟු හා කහට පළිඟු ඇස් කණ්ණාඩි නිර්මාණය සඳහා යොදා ගනී.

ඇ) මූලික සකස් කිරීම : තෝරාගත් පාෂාණය පට්ටලයේ කපන තලය උපකාරයෙන් මිලිමීටර් 5ක පමණ ඝණකම හා නිර්මාණය කිරීමට අපේක්‍ෂිත දිග පළලට අනුයාත වන පරිදි චතුරස්‍රාකාර පාෂාණ කොටස් කපා ගනු ලැබේ.

ඈ) මූලික හැඩ ගැන්වීම : කපන තලය උපකාරයෙන් කපා ගන්නා ලද රළු පාෂාණ කොටස ලියවන තලය මඟින් හැඩ ගසා ගැනීම සිදු කරයි. මෙහිදී තලයට කුරුදු දමමින් ක්‍රමාණුකූල ලෙස ඇහැ ඇතුල් පස හා පිට පස ලියවීමට ලක් කරයි. එමෙන්ම ඇහැ පිටත දාරය ඇස් කණ්ණාඩි රාමුවට උචිත පරිදි හැඩ ගන්වා ගැනීමද මෙම අවස්ථාවේ සිදු කරයි. මෙම ක්‍රියාවලිය සඳහා පැයකට ආසන්න කාලයක් ගත කිරීමට සිදු වෙයි.

ඉ) ද්වීතීයික හැඩ ගැන්වීම : මූලික හැඩගැන්වීමෙන් අනතුරුව ද්විතීයික හැඩ ගැන්වීම සිදු කරන අතර මේ අවස්ථාවේදී ඇහැ රදවා ගැනීම සඳහා අල්ලුව භාවිත කරයි. ඒ අනුව, තිස් ඇඳිරිය, හතලිස් ඇඳිරිය, හැට ඇඳිරිය ආදී වශයෙන් වර්ග වන ඔප දමන ගල උපකාරයෙන් ද්වීතීයික ඔප දැමීම සිදු කරයි. මෙම ඔප දැමීමේදී කැපුම් ද්‍රව්‍ය ලෙස කුරුදු කුඩු භාවිත කරයි.

වාමාවර්ථ ව හා දක්‍ෂිණාවර්ථ ව සිදු කරන ඇතිල්ලීම මඟින් මෙම හැඩ ගැන්වීම සිදු කරන අතර ඇහැක එක් පැත්තක් හැඩ ගැන්වීම සඳහා පැය 1,1/2-2කට ආසන්න කාලයක් ගත කිරීමට ශිල්පියාට සිදු වෙයි. මෙම හැඩ ගැන්වීම ආරම්භක අවස්ථාවේ ඇහැ තුළ බිම්බයක් දැකැගත හැකි අතර ක්‍රමයෙන් කුඩා වන එම බිම්බය ඇහැ හැඩ ගැන්වීම අවසානයේ සම්පූර්ණයෙන්ම ඉවත්ව යයි. මෙලෙස බිම්බය සම්පූර්ණයෙන්ම ඉවත්ව යැම මඟින් හැඩ ගැන්වීම සමුපූර්ණ වී ඇති බව ශිල්පියා තේරුම් ගනී. ඇහේ එක් පසක් හැඩ ගැන්වීමෙන් අනතුරුව ගිණිඅඟුරු උපකාරයෙන් රත් කොට අල්ලුවෙන් ගලවා ගන්නා ඇහැ අනෙක් පස සවි කොට මෙම ක්‍රියාදාමය ම නැවැත සිදු කරයි. මෙම ක්‍රියාදාමය අවසන ඇහේ ලඟ බලන කොටස සකස් කිරීමේ විශේෂ ක්‍රියාදාමයද සිදු කරනු ලබයි. ලඟ බැලීම සඳහා ඇහේ කුඩා පරාසයක සිදු කරන හැඩ ගැන්වීම ඔප දමන ගලේ පැතලි පැත්ත උපකාරයෙන් සුක්‍ෂම අන්දමින් සිදු කරනු ලබයි.

ඊ) ඔප දැමීම : දිවිතීයික හැඩ ගැන්වීම අවසන් වීමෙන් අනතුරුව ඔප දැමීම සිදු කරන අතර එරමුදු ලී දඬුවක් උපකාරයෙන් මෙම කාර්යය සිදු කරනු ලබයි. ආනතව තබා ගන්නා එරමුදු දැවයට ලිහිසි ද්‍රව්‍ය (එනම් වඩිය භාවිත කරමින්) දමමින් ලෙස වඩිය භාවිත කරමින් ක්‍රමාණුකූල ව සිදු කරන මෙම ඔප දැමීම සඳහා පැය 3කට ආසන්න කාලයක් ගත වෙයි.

ඔප දමන ඇහැ ආලෝකයට ඇල්ලූ විට අවට පරිසරයේ ගහකොළ එතුළින් මැනවින් ප්‍රතිඡායා වන අවස්ථාවේදී ඔප දැමීම සම්පූර්ණ වී ඇති බව ශිල්පියා තේරුම් ගනී.

උ) රාමුවට සවි කිරීම : මැනවින් ඔප දමා ගන්නා ලද ඇස් දෙක යෝග්‍ය රාමුවකට සවි කිරීම නිර්මාණකරණ ක්‍රියාවලියේ අවසන් අවස්ථාව වන අතර රාමුවට මැනවින් ගැලැපෙන අන්දමට සකස් කර ගැනීම සියුම් අන්දමින් පට්ටලය මඟින්ම සිදු කරයි. අනතුරු ව රාමුවට සවි කර ඉල්ලුම්කරුට ලබා දීමට සුදුසු තත්ත්වයට පත් කරයි. අධ්‍යයන අවස්ථාව වන විට සාමාන්‍ය වෙළෙදපොලෙන් මිල දී ගන්නා ප්ලාස්ටික් හෝ ලෝහ රාමු මෙම නිර්මාණ සඳහා භාවිත කරයි. එහෙත් කෞතුකාගාර එකතූන් පරික්‍ෂා කිරීමේ දී මහනුවර සමයේ ඇස් කණ්ණාඩි සඳහා ඇත් දත්, සත්ත්ව අං ආදිය භාවිත වී ඇති බව හඳුනාගත හැකි වෙයි.

spctacle-diyatarippu-kandy-sri-lanka-chandima-ambanwala
කණ්නාඩි අැහැක් සකස් කිරීම දක්වා පියවර 4ක්

ඌ) අලෙවි කිරීම : ඇස් කණ්ණාඩි නිර්මාණය කිරීම ඉල්ලුම්කරුවන්ගේ ඇනවුම් අනුව පමණක් සිදු කරන බැවින් නිර්මාණය අවසානයේ අදාළ ගැනුම්කරු පැමිණ එය මිලදී ගැනීම සිදු කරයි.

ශ්‍රම දායකත්වය

අතේ හුරුව ඉක්මවා නොයමින් මෙවලම් අවම වශයෙන් උපයෝගි කොට ගනිමින් මහා පරිමාණික නොවන ඕනෑම සුළුකලා ශිල්පයක ශ්‍රම දායකත්වය පුද්ගලයන් සමූහයක් මත රදා පවතී. බොහෝ විට නිර්මාණ ශිල්පී පවුල තුළින්ම, පවුලේ සාමාජිකයන් සියල්ලන්ගේ ම දායකත්වය නිර්මාණය සඳහා ඍජු හා වක්‍ර ආකාරයෙන් ලැබෙන බව නිරික්‍ෂණය කළ හැකි වෙයි. මෙම ශිල්පියාට බිරිදගෙන් හා තම අවිවාහක නැඟෙනියගෙන් නිර්මාණ කටයුතු සඳහා ප්‍රබල දායකත්වයක් ලැබෙන බව නිරීක්‍ෂණයන්ගෙන් මෙන්ම සාකච්ඡා තුළින්ද තහවුරු විය. එමෙන්ම දරුවන්ගෙන්ද පොඩිපොඩි වැඩ සඳහා අත් උදවු ලැබෙන බව පෙනී යයි. ශිල්පියාට අනුව වැඩ කරන විට තේ එකක් සාදා දීමත් නිර්මාණයට දක්වන සහයෝගයක් වශයෙන් සැලැකිය හැකි වෙයි.

gunasomas-familly-diyatarippu-kandy-sri-lanka-chandima-ambanwala
ගුණෙසා්ම හා පවුෙල් සැම

ඉල්ලුම, අලෙවිය හා බෙදා හැරීම

spctacle-diyatarippu-kandy-sri-lanka-chandima-ambanwala
කණ්නාඩියක් පැළඳ සිටින ගැනුම්කරුෙවක්

තම නිර්මාණ සඳහා යහපත් ඉල්ලුමක් පවත්නා බව ශිල්පියා විසින් ප්‍රකාශ කරන අතර ඒ අතුරින් දිවයිනේ විවිධ ස්ථානයන්ගේ නිර්මාණය කරන ස්තූපයන්හී පළඳවන සඳහා චූඩාමාණික්‍යය සඳහා යහපත් ඉල්ලුමක් බවත්නා බව ප්‍රකාශ කරයි. අදාළ ගැණුම්කරුවන් පෞද්ගලිකව නිවසට පැමිණ අදාළ ඇණවුම් භාර දීම හා නැවැත ඒවා මිල දී රැගෙන යාම සිදු කරයි. ඒ අනුව, බෙදා හැරීම සඳහාත් වෙනම ක්‍රමවේදයක් අදටද ක්‍රියාත්මක නොවේ. සුළු කලාශිල්ප සම්බන්ධයෙන් දැකගත හැකි, අවශ්‍යතාව අනුව නිර්මාණය මිස වර්තමාන වාණිජ ආර්ථිකය සමඟ අත්වැල් බැඳගත් ඬභාණ්ඩය නිර්මාණය කොට අවශ්‍යතාව ඇති කිරීමඳ යන්න මෙම කර්මාන්ත සම්බන්ධයෙන් අදට ද වලංගු ක්‍රියාන්විතයක් නොවේ.

ප්‍රදර්ශන ආදියට ඉදිරිපත් වන අවස්ථාවන්හිදී වළලු විසිතුරු ගල් ආදිය සඳහා යහපත් ඉල්ලුමක් පවත්නා බවත් එවන් අවස්ථාවල තමන්ට ‛හොද බිස්නස් එකක් කරගත හැකි බව’ත් ශිල්පියාගේ අදහසයි. චූඩාමාණික්‍ය ආදිය සඳහා තමන්ට යහපත් ආදායමක් ලැබෙන අතර සමහර මාසවල රුපියල් 30,000.00 ඉක්මවා යන ආදායමක් ලබා ගත හැකි බවත්, සමහර අවස්ථාවල ජීවත්වීමට තරමටවත් මුදලක් ලබාගත නොහැකි බවත්, සාකච්ඡා අනුව පැහැදිලි වෙයි. එනම් මෙම නිර්මාණ ශිල්පීන් ආර්ථික වශයෙන් සිටින අවිනිශ්චිතතාව මෙමඟින් පැහැදිලි වෙයි.

අභියෝග හා අනාගතය

පිය පරපුරින් තමනට අරුම වූ දියතරිප්පු නිර්මාණ ශිල්පය පුහුණුවීම තම දරුවන් විසින් ප්‍රත්ක්‍ෂේප කරන බව ගුණසෝම ශිල්පියා හා ඔහුගේ සහකාරිය විසින් ප්‍රකාශ කරයි. ඔවුන් පවසන අන්දමට ‛ලැජ්ජාව’ යන්න මෙලෙස නව පරපුර මෙම කර්මාන්තයෙන් ඉවත් වීමට බලපානයි. වර්තමානයේ නව තාක්‍ෂණය උපයෝගි කොට ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාෂාණ කැපීම හා ඔප දැමීම සිදු කිරීම තමන්ගේ කර්මාන්තය සඳහා යම් බලපෑමක් එල්ල කරන බව ගුනසෝමගේ අදහස් අනුව පැහැදිලි වෙයි. එබැවින් විදුලි මෝටරයක් ආදාරයෙන් ක්‍රියාත්මක වන පට්ටලයක් භාවිතයට ගැනීම මෙන්ම පාෂාණ කැපීම (ඩයමන්ඩ් කට් එක කැපීමට) සඳහා මැණික් කැපීමට භාවත වන යන්ත්‍ර භාවිතය ඇරැඹීම මඟින් මෙම අභියෝගය ජය ගැනීමට මෙම පාරම්පරික ශිල්පියා උත්සාහ කරනු ලැබේ.

නිගමන හා යොජනා

දියතරිප්පු නිර්මාණය පිළිබඳව අධ්‍යයනය කිරිමේදී වර්තමාන දත්ත අනුව එය දැඩි අභිචාරාත්මක, ආකල්පමය ශික්‍ෂණයකින් සන්නද්ධව ක්‍රියාත්මක වන බවක් පෙනී යන්නේ නැත. මෙම ශිල්ප ක්‍රියාකාරකම්හි උපයුක්ත තාක්‍ෂණික ක්‍රියාවලියද එතරම් සංකීර්ණ ස්වභාවයකින් යුක්ත ක්‍රියාදාමයක් බව පෙනී යන්නේ නැත. මෙහිදී භාවිත තාක්‍ෂණික ක්‍රියාකාරකම් හුදකලා කොට ප්‍රාථමික සන්දර්භයක ස්ථානගත කොට සලකා බැලීමේදී ඒවා තුළ පවත්නා විශිෂ්ටාර්ථ කුළුගැන්වෙයි. එමෙන්ම තාක්‍ෂණික ගමනේදී සමකාලීන මානව අවශ්‍යතාව මැනවින්ම සැපිරීම ප්‍රධාන කොන්දේසියක් වන බැවින් සමකාලීන සමාජ-ආර්ථික සන්දර්භයක් තුළ තත් තාක්‍ෂණික ක්‍රියාන්විතයේ විශිෂටභාවය ඉස්මතු වී පෙනේ. වර්ධිත තාක්‍ෂණික සම්ප්‍රදායක් පවත්නා වර්තමානය සමාජ-ආර්ථික සන්දර්භය තුළ එම ඉපැරැණි ක්‍රමවේද එතරම් ප්‍රබල නොවුව ද ඉහත පෙන්වා දුන් පරිදි සමකාලීන සමාජයේදී එහි උපයෝගිතාව වැදගත් බව පෙනේ.

වර්තමාන සමාජ-ආර්ථික පසුබිම තුළ සලකා බැලීමේදී ක්‍ෂණයකින් හා වඩාත් විධිමත් අයුරින් මෙම නිර්මාණ සිදු කර ගැනීමට හැකි බව පෙනී යයි. එහෙත්, යම් ජන කොටසකගේ නොහොත් සමස්ත ජාතියේ විශිෂ්ටාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔවුන්ගේ පූර්වගාමීන් විසින් සිදු බිහිකළ සමාජ-තාක්‍ෂණික සම්ප්‍රදා කුළුගැන්වීම වැදගත් වනු ඇත. එබැවින් සරල ක්‍රමවේද යටතේ කාර්මීකකරණ ක්‍රියාවලියේ අඬුවලට හසු නොවී තවමත් ජීවමාන මෙවැනි තාක්‍ෂණික සම්ප්‍රදා ආරක්‍ෂා කර ගනිමින් පවත්වාගෙන යාම සඳහා යෝග්‍ය සමාජාරක්‍ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම අතීත පරම්පරාව වන්දනය සඳහා පමණක් නොව ලෝක මානවයා හමුවේ ජාතික අනන්‍යතාව ස්ථාපනය කර ගැනීම සඳහා ඇති හොඳම මාර්ගයක් වනු ඇත.

ෙමම ලිපිය සකස් කිරීම සඳහා විවිධ අකාරෙයන් සහෙයා්ගය දැක් වූ මහින්ද කරුණාරත්න, චූලාමණී ෙගදර ගුණෙසා්ම, පද්මකුමාර ජයසිංහ, බුද්ධික කරුණාරත්න හා අනුරාධ පියදාස යන මහත්වරුනට ෙල්ඛකයාෙග් ස්තූතිය පිරිනැෙම්.

බැලූමෝ සිහිගිරි : සෙනරත් පරණවිතාන 114 වන ජන්ම දින අනුස්මරණ දේශනය

විනී විතාරණ

සම්මාණිත මහාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය, මාතර.

emiratus-proffesor-vini-vitarana-sri-lanka
සම්මාණිත මහාචාර්ය විනී විතාරණ

ගරු ඇමතිතුමාණන්ගෙන් අවසරයි, සියලු විද්වත් පිරිසගෙන් අවසරයි

පරණවිතාන දේශනයක් මේ අවස්ථාවේ දි කිරිමට මට ආරාධනා කළ සංස්කෘතික ලේකම් විජේතුංග මහතාට ස්තූති කරමින් මට වැටහෙන පරිදි කො තරම් පරණවිතාන මහතා ගැන දේශන පැවැත් වුවත් තවත් ටිකක් ඉතුරුය කියන තීරණයට බැසීමට අපට සිදු වෙනවා. ඒ තරම් උදාර චරිතයක් විද්වතෙක් වෘත්තිමය වශයෙන් කල්පනා කරල බලන කොට. මගේ දේශනය කොටස් දෙකකින් කරන්න කියල මට ආරාධනා කරල තියෙනවා. මුල් කොටස පරණවිතාන ගැන. දෙ වන කොටස එ තුමා අපට වෙන අයෙකුට වඩා හෙළිකළ සිගිරිය පිළිබඳ ව.

පරණවිතානයන් පිළිබඳ ව බොහෝ දෙනා බොහෝ කරුණු දන්නවා. මේ ලංකාවෙහි ඉතිහාසය පිළිබඳ ව යම් කෙනෙකු ගේ අවධානය යොමු වුනා ද ඒ තැනැත්තන් සියලු දෙනා ලංකාවෙ ඉතිහාසය සේ ම දුටුගැමුණු පරාක‍්‍රමබාහු ආදී නාම සේම පරණවිතාන නාමයත් දන්නවා, හඳුනනවා, ගෞරව කරනවා. කෙ සේ හෝ හිතවතුනි, පරණවිතාණ පිළිබඳ ව විශේෂ ජීවිතය අළලා සිදුකරන දේශනයට වඩා උචිතය කියා සිතනවා පරණවිතාන පිළිබඳ ව යම් විශේෂ කැපීපෙනන කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම. ඔබ සියලූ දෙනා දන්නා පරිදි පරණවිතාන ගමේ තරුණයෙක්, ගමේ කොල්ලෙක්. 1,800 ගනන්වල කෙළවර දශකයන්හි දී උණවටුනේ පහළ වුණු ඉතා අප‍්‍රකට පවුලකින් පහළ වුණු ඒ තැනැත්තා. එ තුමා ඒ පළාතේ පරිසරය අභිබවා නැඟී සිටි තැනැත්තෙක්. උනවටුනේ ගැමි සමාජයේ පමණක් නො ව ලංකාවේ සමාජය ද අභිබවා සිටි තැනැත්තෙක්. ලංකාවේ සමාජය අතරිනුත් අපි තෝරාගතහොත් ලංකාවේ විද්වත් සමාජය අද පවතින විද්වත් සමාජය ම නොවෙයි. අපට පෙනෙන හැටියට අදට වඩා උසස් තත්ත්වයක් දැරූ මීට පරම්පරාවකට පෙර ලංකාවේ වැජඹුණු විද්වත් සමාජයයි. අපි ඒක අවංක ව පිළිගන්නට ඕනේ කණගාටුවෙන් වුවත්. ඒ සමාජයේ පවා අභිබවා නැඟී සිටි එක්තරා තැනැත්තෙක්. එ තුමා පිළිබඳ ව අප කල්පනා කරල බලනකොට කොතරම් දුර්වල ආර්ථික පරිසරයකින් එතම් අගය කළ නොහැකි ආධ්‍යාත්මික පරිසරයකින් එදා දකුනේ උනවටුනෙත් තවත් හැතැප්මක් ඈත පරිසරයක ඉපිදිලා ලොවෙහි තණතුරක් මෙ තරම් ඉහළට ප‍්‍රසාධයෙන් යුක්ත ව දැරීමට වාසනාව ලත් වෙනත් ලාංකිකයෙක් නැතිවා වාගෙයි. එ තුමා ඉතා අමාරුවෙන් ඉගෙන ගත්තේ. දුප්පත් පවුලක, යන්තම් හැතැප්ම භාගයක් පමන දුර වේල්ලක් මතින් පයින් ගමන් කොට එතන තිබුණු යටගල විහාරයේ ස්වාමීන් වහන්සේලාගෙන් පාළි, සංස්කෘත, සිංහල ඉගෙන ගත්තා. එක වරක් යමක් ඇසුවොත් එ තුමාට අමතක වෙන්නේ නෑ. ඔන්න රහස. එ වැනි අය තුන්දෙනෙකු ගැන මා අහල තියෙනවා. ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක් දැකල තියෙනවා. ඒ අනිත් තැනැත්තා මා දැකල නෑ. ඒ වගේ ම මතකයක් තිබුණු තැනැත්තා තමයි මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිතුමා. අපේ ගුරුවරයෙක්. එ තුමා අපි බොහොම දෙනා දන්නා පරිදි පේරාදෙණියේ සිංහල මහාචාර්යතුමා. එ තරම් මතක බලයෙන් යුතු ස්මෘතියෙන් යුක්ත වූ තැනැත්තෙකු ඒ ආචාර්ය මණ්ඩලයෙහි නොසිටියා වාගෙයි. ඒ වාගේ ම මා අසා සිටිනවා මුනිදාස කුමාරතුංග මැතිතුමා ඊටත් ඈත දකුනේ දුප්පත් ගමකින් පහළ වූ තවත් ඉතා වැදගත් ලාංකික පුරාෂයෙක්. ඒ තුමාත් ඒ වගේම යම් දෙයක් මහපාරෙ දි හෝ යම් කෙනෙකු කියනවා ඇසුවහොත් ට‍්‍රෑම් කාරයේ ගමන් කරන අතරතුර යම් පත්තරයක යමක් තියෙනවා දුටුවහොත් ඒක එ තුමාගේ මුළු ජීවිතය පුරා ම මතක තිබුණා කියල මා අසා තිබෙනවා. මා නැහැ එ තුමා දැකල. මෙන්න මේ පුද්ගලයන් තුන්දෙනා අතුරින් මා හිතනවා පරණවිතාන අනික් අයට අගෞරවයක් නො වන සේ මා ප‍්‍රකාශ කරනවා ඒ අනික් දෙපලටත් වැඩිය ස්මෘතියක් තිබුණු තැනැත්තෙක්.

prof-senarath-paranavitana-sri-lanka-archaeology
මහාචාර්ය ෙසනරත් පරණවිතාන සූරීන්

මා දන්නවා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එ තුමා සිටි කාලයේ දී එහි සිට එ තුමා දුරකථනයෙන් කතා කරනවා කොළඹ කෞතුකාගාර පුස්තකාලයේ සිටි පුස්තකාලයාධිපති තුමාට අහවල් පොත අවල් අල්මාරියේ අහවල් රාක්කයේ තියෙනවා, ඒ පොත අරන් අහවල් ගීතය ඒ ශ්ලෝකය බලා කියන්න මෙහෙම ද එහි තියෙන්නේ කියල. මා දවසක එ තුමා ඉදිරිපිට සිටින අවස්ථාවක දී මා හා සුළු සාකච්ඡාවක් අනුව එසේ අසන්නට වුණා. ඒ තැනැත්තා කීවා එහෙම තමයි තියෙන්නේ කියල. මෙන්න එ තුමා ගේ ස්මෘතිය. එ තුමා ගේ අවසන් ගෝලයා මමයි. මම හිතන්නේ මට පසු ව එ තුමාට තවත් ශිෂ්‍යයෙකු නොසිටියා වාගෙයි. මා එතුමා ගේ ආශ‍්‍රයේ සිට එ තුමා අවුරුද්දකින් දෙකකින් අභාවප‍්‍රාප්ත වුණා. එ තරම් කණගාටුදායක දිනයක් මට තිබුනේ නැහැ. අපි ආශ‍්‍රය කළා බොහෝ විද්වත් පිරිස මේ ලංකාවේ. නමුත් එ තුමා ගේ චරිත ලක්‍ෂණ මුළ සිට අඟ තෙක් බැලුවත් ඒ සියල්ල විද්වතෙකු හා සම්බන්ධයි. ඒ ලක්‍ෂණ සාමාන්‍ය පුද්ගලයෙකු හා සම්බන්ධ නැතිවා වාගෙයි. එ තුමාට තිබුණු ස්මෘති ශක්තිය අවශ්‍යයයි විද්වතෙකුට. විද්වතෙකුට මතක ශක්තියක් නැතිව නිකම් ම සටහන් පොත් ටිකක් ගෙනියලා ශිෂ්‍යයන් අතරේ එයින් කොටස් දෙකතුනක් කීම ඉතා අසාර්ථක ප‍්‍රයත්නයක්. ඒක බොහෝ දෙනෙක් කරනවා. පරණවිතානයන්ට කවරදාවක් සටහනක් ඕන වුනේ නැහැ. මොන පුරාවිද්‍යාත්මක දෙයක් පිළිබඳවත් මොන පිළිතුරක් යම් ප‍්‍රශ්නකරුවෙකුට දීමට වත්. එ තුමා ගේ ස්මෘති බලය සේ ම එ තුමා ගේ සමාධි බලය පරද්දන්න කෙනෙකු මා දැකල නෑ. අප අසා තිබෙනවා රහතන් වහන්සේලාගේ සමාධි බලය. මුණිවරුන්ගේ සමාධි බලය. ඒ සා සමාන සමාධි බලයන් එ තුමාට තිබුණා. එ තුමා යම් කාරණයක් පිළිබඳව සිත යොමු කළහොත් පැය ගණනක් ඒ කාරණය පිළිබඳ සියලු කාරණා එක්රැස් කරමින් දෝ ඒ කාරණය පිළිබඳ යම් අමුතු නිගමනයකට බැසීමට දෝ ඒ අවධානය අපි ඉදිරිපිට දී අප දුටු නිසා අප දන්නවා කොතරම් ගැඹුරු තත්ත්වයනික් ඒ අවධානය යොමු කරාද කියල. බණ පොත්වල අපට පේනවා නම් යම් තපාශ‍්‍රයක් යම් මුණිවරයක් රහත් මාර්ගය සොයා ගිය අය අවධානයකින් යුක්ත වූවා ද යන බවට අපේ හිතේ සැකයක් පහළ වුනා නම් පරණවිතානයන් ගේ සමාධිය දෙස බැළු කල් හී අපට වැටහෙනවා එහෙමත් තත්ත්ව තිබිය හැකි බව. එ තුමාට ඕන දෙයක් ඕන වෙලාවක දී මතක් කරල ගන්න පුළුවන්. එ තුමා ගේ අවධානය කොතරම් ද කිවහොත් අප හිතනවා එ තුමා මේ නිදාගන්නවා නෙවද කියල. වාඩිවලා පුටුවේ නිදාගන්නවා කියලයි අපට හිතෙන්නේ. අපි ශිෂ්‍යයන් වශයෙන් අපි කතාකරල ඉවර වුනාට පස්සේ ඔන්න එතුමා තවත් විනාඩියක් විතර නින්දෙ ඉදල අවධිවෙලා මුළ සිට කෙළවර දක්වා අප කිවුව දේ විවේචනයට පත්කරනවා. නිකං ඇස්දෙක පියාගෙන ඉදල නෑ. අප විසින් ඉදිරිපත් කරන ලද හැම කරුණම ඒ මොහොතෙම කියල කියනවා You fellows of the present generation. You can’t think මෙන්න මා අහවල් අවුරුද්දේ අහවල් සඟරාවේ ප‍්‍රකාශ කළ ලද අහවල් ලිපිය අහවල් පිටුව කියවන්න. එය කියවලා ලබන සතියේ එනකොට එන්න. අන්න එහෙමයි එ තුමා ගේ අවධානය.

එ තුමා ලිවුව ලිපි හිතවතුනි 1926 ඉදල 72 දක්වා. එ තරම් කළක් අඛණ්ඩ ව පරියේෂණාත්මක ලිපි නිකම් ජනසන්නිවේදන ලිපි නෙවෙයි. එකෙන් වෙනස් අනෙක. එකකට දියුණුයි අනෙක. එක දවසක කිවුව දේ තවත් දවසක එහෙම කිවුවේ නෑ එතුමා. ඒ ලිපි හාරසිය ගණනක් තියෙනවා කියල ගණන් කළ එක්තරා තැනැත්තෙක් මට කිවුවා. මා හිතවනා ඊටත් වඩා ඇති. අඛණ්ඩ ව එ තරම් ලිපි රාෂියක්, සියල්ල විද්වත් ලිපි හැමදේක ම තියෙනවා ඉගෙන ගන්න දෙයක්. එ වැනි පරියේෂකයෙකු ගැන, එ වැනි අය එක්තරා දුරකටවත් එ වැනි අය ආශ‍්‍රය කර තිබෙන මට හිතන්නට අමාරුයි. වෙනත් දෙයක් එතුමා ගේ ජීවිතයට තිබුනේ නැහැ. අරෙහෙ ගමනක් යාම, මෙහෙ ගමනක් යාම, අර තොවිලෙට යාම, අර දානෙට මේ පිරිතට මේ මඟුලට ඒව නැහැ මොනවත්. අර කටයුතු මුළු දවස දිවා කාලය ගත කරල? නින්දට යනතුරු ලිවුව ලිපි අද කාටවත් වෙනස් කරන්න බැරි තරමට, වෙනස් කරන්න භයයි සමහර අය. අර එහායින් ඉන්න රණවැල්ල මහාචාර්යතුමා දැන් දැන් පෙන්නනවා එ තුමා ගේ ඇතැම් ලිපිවල දෝෂ. එ තුමා කියල තියෙනවා. පරණවිතාන මැතිතුමා ඒකට කොතරම් අකමැති වෙතත් මෙන්න මේ ලිපිය මෙ සේ විය යුතුයි මෙ සේ විමට හේතුව මෙයයි කියල, කියල තියෙනවා. අන්න හොඳ පරණවිතාන ශිෂ්‍යයෙක්.

පරණවිතාන අපට ඉගැන්වුයේ ඒ පරියේෂණ විධි පිළිබඳ ව. පර්යේෂණ කළා එ තුමා, පර්යේෂණ විධි අපට මෙන්න මෙ සේ කරනු කියල අද වගේ කියල දුන්නේ නෑ. අද පර්යේෂණ විධක‍්‍රම පිළිබඳ ව පොත්පත් තියෙනවා. පොත්පත් කියවනය අපේ ගෝලයෝ. ඒ අපේ ගෝලයන් නිෂ්පාදනය කළ ලිපි සමහර ඒවා ගන්න දෙයක් නෑ. ඒ මොකෝ එව මේ විධික‍්‍රම කටපාඩම් කරල. ඒ විධික‍්‍රම අනුගමනය කරල නොවේ. ඒ විධි කටපාඩම් කරල එවා මෙන්න මෙහෙමයි කියල. නමුත් පරණවිතාන ගේ ලිපි එතුමන් නූතන අය විශේෂයෙන් කියවල නැහැ. ඒ මොකෝ වාසනාවකට හෝ අවාසනාවකට ඉංග‍්‍රිසි දන්නේ නැහැ. පරණවිතාන සියලු ලිපි සියලු පතපොත ලිව්වේ ඉංග‍්‍රිසි භාෂාවෙන්. විශ්ව මට්ටමේ ඉංග‍්‍රිසි භාෂාවකින්. ඒක මේ ලාංකික ඉංග‍්‍රිසි නොවේ. හොද ඉංග‍්‍රීසි. ඒක ශ්‍රේෂ්ට ඉංග‍්‍රීසි. ඒක අධිරාජ්‍ය ඉංග‍්‍රීසි. ඒ උසස් මට්ටමෙන් එ තුමා ලියූ ලිපි සියලූ ලොව එ නිසා අගය කළා. ඒ ලිපි කිය වූ අපට වැටහෙනවා විධික‍්‍රම නොකියූ අප, අපේ පරම්පරාවට නැහැ විධික‍්‍රම, අප තරුණ කාලේ ඒවා ලබාගන්න ලැබුනේ නැහැ. ඒව ලියන්න පටන් ගත්තේ මේ පස්සේ. පස්සේ පරම්පරාවට විධික‍්‍රම දේශන සහ ලිපි වශයෙන් කියල දෙන්න ඕන. අපි විධික‍්‍රම ඉගෙන ගත්තේ පරණවිතානයන්ගේ ලිපි කියවල. ඒ ලිපි ටික හරියට කියෙව්වොත් අපිට පුළුවන් සමාධියෙන් එයින් හොඳ පර්යේෂණ ශිෂ්‍යයකු වශයෙන් හැසිරෙන්න. මෙන්න මේසේ පරණවිතාන. අනිත් කරුණු ඔබ ඔබ තනි තනි ව එතුමා පිළිබඳ පෞද්ගලික අද්දැකීමෙන් නො එසේනම් අසා දැනගැනීමෙන් එ තුමා පිළිබඳ යම් අදහසක් ලබාගැනීම සුදුසුය කියා මා හිතනවා. නමුත් මේ ප‍්‍රධාන ලක්‍ෂණ, ඉතා විරල ලක්‍ෂණ මා හිතනවා එවැනි ලක්‍ෂණ තවත් ලාංකිකයකුට තිබුණ ද කියල මට හිතන්නට අමාරුයි.

seegiriya-sri-lanka
සීගිරිය පර්වතය (ඡායාරූපය http://www.pearlceylon.com/ අඩවිෙයනි)

හිතවතුනි, එ තුමා නැතිනම් සීගිරියක් නැත මට හිතෙන හැටියට. මගේ දේශනයේ දෙ වැනි කොටසට මම එසේ ප‍්‍රවිශ්ට වන්නේ. එ තුමා නොමැති නම් මේ සීගිරිය අද පවතින තත්ත්වයෙන් නොපවතින්නට ඉඩ තිබුණා. ත‍්‍රිකාණ ව්‍යාපෘතිය ආදිය පිළිබඳ ව සීගිරිය යම් විධියට එදා පැවතුණු තත්ත්වයෙන් නව තත්ත්වයකට පැමිණී ම අමාරුවක් නොවේ. මා මුළින් ම සීගිරියට ගියේ 1950ස් ගණන්වල මුල් වර්ෂ වල දී මුදුනෙ දී මේ තරම් උස පස් ගොඩක් තිබුණා ඒ පස් ගොඩ මතින් යම් කෙනෙකු යම් කණුවක් සිටවනවා. ඔන්න සීගිරිය. අපි දන්නෙ නෑ ඉන් එහා යමක්. අපේ කාලයේ පුරාවිද්‍යාව නැති විෂයක් වගේ. කැනීම් ගැන අපි අසා තිබුණා. සීගිරිය විශාල කන්දක්ය, කාශ්‍යප රජතුමා මේ මේ දේ කරපු ස්ථානයක් ය. එ තුමා මෙන්න මේ මේ විධියට යුද්ධයේ දී නැති වුණා ය. සීගිරියේ ඉතා ලස්සන කාන්තාවන් ගේ රූප තිබුණය කියල අපි කියවල තිබුණා පාසල් ශිෂ්‍යයන් වශයෙන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් පරණවිතාන මැතිතුමා 1930 දි ලියාපු අර රාජකීය ආසියාතික සමිතියේ ප‍්‍රකාශිත ලිපිය කියෙව්වා. එහි සීගිරි ගී 20ක් 30ක් තියෙනවා, මට හරියට ගාන මතක නෑ. ඔන්න ඔච්චරයි අපි එදා දන්නේ සීගිරිය ගැන. දැන් අපි කොයිතරම් දෙයක් සීගිරිය ගැන දන්නවා ද. ඒ දන්නා දෙයින් සියයට හැත්තෑවක් අසූවක් අපි දන්නේ පරණවිතාන ම නිසා නො එ සේ නම් එ තුමා සීගිරිය ගැන හෝ සීගිරිය ආශ‍්‍රයේ කියාපු යම් යම් දේ පිළිබඳ ව. හිතවතුනි, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් සිංහල ආචාර්යවරයෙකු වශයෙන් අපි ඉගෙනගත්ත කාළේ නොකිය වූ නිර්දිෂ්ට කොටසක් තිබුණා සිංහල සාහිත්‍යාවලියේ ඒ අපි උගන්වන කාලයේ දී මතු වී පැවතුණු නිසා ඒවා අපගේ ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ අවස්ථාව අපට ලැබුණා. ඒ කුමක් ද? සීගිරි ගී 685ක් මේ ලොවෙහි පවතින විශිෂ්ට ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ අතරට වැටුණු සීගිරි ග‍්‍රැෆිටි නැමති ඒ විශාල පොත් දෙක. ඔක්ස්ෆොඞ් විශ්වවිද්‍යාලයේ මුද්‍රණාලයෙන් ඵලකරල අපටත් එය ආව 1950 ගණන්වල මුල් කාලයේ. එකෙන් තමයි අපි දැනගත්තේ විශේෂයෙන් සීගිරියේ වැදගත් දේ කුමක් ද කියල. ඒ වැදගත් දෙයින් ගී 30ක්-40ක් අප ගේ සිංහල විශේෂ පාඨමාලාවට ඇතුළත් වුණා. ඒ නිසා අපි ඒ ගී සිංහල ආචාර්වරුන් වශයෙන් ඉගැන්නුවා. සිංහල විශයේ ආචාර්යවරුන් වශයෙන් ඒ ගී ඉගැන්නුවත් එහි අරමුණ කුමක් ද? ක‍්‍රිස්තු වර්ශයෙන් 8 වන ශතවර්ශයේ සිට 9, 10 තෙක් ඒ කාලපරාසය තුළ අපගේ මුතුන්මිත්තන් කතාකළ විධිය නො එ සේ නම් ලියූ විධිය මොනව ද ඔවුන් ගේ අදහස් ඔවුන් ගේ කාව්‍යය කෙ සේ ද? ඔවුන් මොන මොන අලංකාර විධි භාවිත කළා ද ඔවුන්ගේ අක්‍ෂර මොන මොන මොන හැඩයේ ද? ඔවුන්ගේ ව්‍යාකරණ කොහොම ද? එදා සිට අද තෙක් ව්‍යාකරණයේ සිදුවුණා ද යම් යම වෙනස්කම්. එදා ඒ ඒ කාව්‍ය වල පවතින භාෂාව සෙල්ලිපි භාෂාව හා කොතරම් සම ද? එ නිසා ඓතිහාසික තුළනාත්මක ව්‍යාකරණ ආදිය මෙන්න මේවා ඉගැන්නුවා. මෙච්චරයි අපි සිංහල භාෂා ගුරුවරු වශයෙන් සීගිරි ගී පිළිබඳ ව ඉගැන්නුවේ. හිතවතුනි, මෙහි අර්ථය අපි වටහාගත්තා. ඒ කියන්නේ ගීයක අර්ථය වටහා ගත්තා. ඒ ගීයේ තියෙනවනේ සීගිරියට ආවයි මේ මේ කට්ටිය එක්ක අනිත් අය ලිව්වයි ඒ නිසා මම ලියන්නේ නැත කියල, අන්න එවැනි අදහස් අපි වටහා ගත්තා. ඒව තමයි අපේ පාඨමාලාවට පරීක්‍ෂණ ආදියට අවශ්‍ය. එ තැනින් අපේ වැඩකටයුතු කෙළවර වුනා.

සීගිරි ගී කියෙවු මා, හිතවතුනි, තවත් විෂයක් ඔය කාලයේ දී අධ්‍යයනය කළා. මම ම තනියම ඉගෙන ගත්ත විෂයක්. එය තවමත් හරියට විශ්වවිද්‍යාලයවල තවමත් උගන්වන්නේ නැතිවා වාගෙයි. ඒත නැතිව යම් ජීවිත රටාවක් මනුෂ්‍ය චර්යා සම්පූර්ණයෙන් ඉගෙන ගන්නට අමාරුයි. ඒ තමයි සංස්කෘතික මානවවිද්‍යාව (Cultural Anthropology). එයින් වැටහෙනවා අපේ අය හැසිරුනේ කොහොමද කියල. සාහිත්‍යයෙන් වැටහෙනවා අපේ අය කළ වැඩපල. නමුත් එදා සිටි අයගේ චින්තනය වැටහෙන්නේ මෙන්න මේ විෂය හා ආශ‍්‍රිත චින්තනයෙන්. මේ දෘෂ්ටි කොණයෙන් මා කියවන කොට සීගිරි ගී මට වැටහෙනවා දෙයියනේ මේ සීගිරීයේ අනන්‍යතාව නේ ද මේ තියෙන්නේ කියල. සීගිරිය කුමක් ද කියල වටහා ගැනීමට තියෙන ප‍්‍රධාන ශ්‍රේෂ්ටතම වැදගත් ම මූලාශ‍්‍රය සීගිරි ගී. මා අගෞරව කරනවා නොවෙයි, සීගිරිය කුමක් ද ආදී වශයෙන් නොයෙක් පෞද්ගලික මත ඉදිරිපත් කළ ඒ ඒ පිරිසට. පරණවිතාන මැතිතුමාගේ ම ඒ මතය ඔය විජ්ජුලතා මේඝලතා යන ඒ අර්ථකථනය ඔබ සියලූ දෙනා අසා තිබෙනවා. එය යම් මතයක් වශයෙන් අපි ගතහොත් අතිවිශාල පුළුල් පදනමකින් ගොඩනැගී ආ කූටප්ප‍්‍රාප්තියක් වගේ. බුදුදහම, හින්දු දහම, හින්දු දර්ශනය මේ සියල්ල කලවම්. සාගරයක් වැනි සංස්කෘත සාහිත්‍ය ඒ සියල්ල කළඹලා ගොඩනංවාගත් අති ශ්‍රේෂ්ට මතයක් ඒ විජ්ජුලතා මේඝලතා මතය මේ සීගිරි කාන්තාවන් කවුද කියල හඳුන්වන්න. තවත් කෙනෙක් කීවා මේ අහවල් විහාරෙට යන වන්නදනා පිරිසක්. තවත් විද්වතෙකු කීවා මේ දිව්‍ය ලෝක දර්ශනයක් මේ දිව්‍යාංගනාවන්. තවත් කෙනෙක් කීවා නූතන වාගේ මතයක් මේ තාරා දෙව්දුව. මා හරි කණගාටු වෙනවා කාන්තාවන් විසි දෙදෙනෙක් ඉන්නවා මොන කාන්තාව ද තාරා කියල එ තුමා කීවේ නෑ. විසි දෙදෙන ම තාරා නෙවෙයි නෙව. මේ විසිදෙදෙනාගෙන් මොන කාන්තාව ද තාරා කියල එතුමා කීවේ නැති එක ලොකු අඩුපාඩුවක්. මා ඒ සියලූ මත වලට ගරු කරමින් හිතවතුනි මට පෙනුනා සීගිරිය වටහාගත හැකි හොඳම මූලාශ‍්‍රය එතන ම පවතින මේ දේ. මේ වෙන තැන්වලින් උපුටාගත්ත දෙයක් නොව මෙතන ම තියෙන ගී වලින් පුළුවන් සීගිරිය කුමක් ද කියල වටහාගන්න.

ඒ ඔය අතරදී මා එක්තරා සෙවීමක් කර තිබුනා ගිරිබණ්ඩ පූජා කියල එක්තරා වතාවත් ක‍්‍රමයක්. මහා උත්සවයක්. ඇතැම්විට අවුරුදු පතා අපේ රටේ කරපු උත්සවයක්. අවුරුදු 2,100කට පෙර දැන් වැටහෙන හැටියට මහාදාඨික මහානාග කියන රජතුමාගේ කාලයේ දී මිහින්තලාව ආශ‍්‍රිත ව කරල තියෙනවා ගිරිබණ්ඩ පූජාව. සාරාංශයක් වශයෙන් මා ඉදිරිපත් කළොත් යම් දෙයක් ගිරිබණ්ඩ ජූජාව කිව්වේ මේ මහා පර්වතයක් ආශ‍්‍රිත ව කරපු ජන උත්සවයක්. කුමකට ද මේ උත්සවය. මේක බෞද්ධ උත්සවයක් ම නෙවේ. මේක ජන උත්සවයක්. මහජනයා ගේ උත්සවයක් ඔවුන්ගේ විශ්වාස අනුව කළ උත්සවයක්. මේක තමන් ගේ ජනජීවිතයෙහි අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කළ උත්සවයක්. ඒක බෞද්ධ ම නොවේ. මේක මිහින්තලේ කරල තියෙනවා. මේක රාජ්‍ය උත්සවයක් රජතුමා ගේ අනුග‍්‍රහය ඇති ව. මට පේන හැටියට දැන් අර දඹදිව බෞද්ධ ඉතිහාසය කියවන කොට අපට වැටහෙනවා ගිරග්ග සමජ්ජ කියල උත්සවයක් කරල තියෙනවා රජගහ නුවර. මහ පර්වත තියෙන පළාතක් රජගහ නුවර ඒකේ පර්වත හා සම්බන්ධ ව මේ පර්වත උත්සවයක් කරල තියෙනවා. රාජ්‍ය අනුග‍්‍රහය ඇති ව. රජවරුන් ගේ පවුලට අයත් යම් කෙනෙකුන් ගේ තක්‍ෂලාවේ ඉගෙන ගත්ත ද තරුණයන් වශයෙන් ඒ සියලූ දෙනා එන්න ඕන ගිරග්ග සමජ්ජයට සහභාගි වන්න. එහෙම නැති නම් මේ රාජ්‍යයට යම් අයහපතක් වෙයි කියල විශ්වාසයක් තිබුනා. මේක සශ‍්‍රීකත්වය රාජ්‍යයෙහි පැවැත්ම රාජ්‍යයෙහි අභිවෘද්ධිය රාජ්‍යයෙහි අනාගතය රදාපවත්නා ජන උත්සවයක්. සියලූ ප‍්‍රජනන හා සම්බන්ධ සත්ත්වයන් ගේ, පැළෑටිවල හෑම දෙයෙහි ම යහපත, දියුණුව අභිවෘද්ධිය ප‍්‍රජනනය ඇතුළු හැම දෙයෙහි ම දියුණුව ඇති වන්නේ ගිරග්ග සමජ්ජ උත්සවය සම්පූර්ණ කළහොත් යන විශ්වාසය. ඔතෙන්ට ගියා හිතවතුනි සිටු කුමාරවරු දෙන්නෙක්. කවුද? උපතිස්ස හා කොලිත. කෝලිත උපතිස්ස යන යහළුවන් දෙන්න. තරුණයින් දෙන්නෙක්. මේ ගිරග්ග සමජ්ජයෙහි මාසයක් දෙකක් කළ උත්සවයක් බලනකොට එයින් කළකිරුණා ඒ දෙන්නා. සසර කළකිරුණා. ගිරග්ග සමජ්ජයෙහි කළ මේ ජනතාව රජගහ නුවර පිරිස එහි හැසිරුණු ආකාරය අනුව මේ කුමාරවරු දෙදෙනා සසර කළකිරුණා. සසර කළකිරිලා බුදුහාමුදුරුවන් ලඟට ගිහින් මහණ වෙලා රහත් වෙලා සැරියුත් හා මුගලන් යන අගසවුවන් බවට පත් වුණා. ඔතනින් වැටහෙනවා කළකිරුණේ මොකද කියල නෙව. අන්න කළකිරෙන තරමට සශ‍්‍රීකත් ව කටයුතු කළා මහජනයා ගිරග්ග සමජ්ජයේ. මේකත් ඒ වගේ තැනක් ගිරිබණ්ඩ පූජාව. මේක මොහොතකට අමතක කරමු.

දැන් අපි එනවා සීගිරියට. සීගිරියෙත් මෙ වැනි ම උත්සවයක් කළ බවට සාක්‍ෂි අපට සීගිරි ගීවල පෙනෙනවා. සීගිරි ගී කියවන්නන් මෙතෙක් දැනගෙන සිටි ඒ දේ සියල්ල අමතක කරල එහි අර්ථ සඳහා වෙහෙසෙන්න. වැටහේවි කාන්තාවන් රාෂියක් සීගිරියට ගිහිල්ල තියෙනවා. ඒ කාන්තාවන් සමහර දෙනා හිනහවෙලා තියෙනවා. කතාකරල තියෙනවා. ගී ගයල තියෙනවා. අඬලා තියෙනවා. මෙහෙම අමතල තියෙනවා. මෙහෙම අමතල තියෙනවා. මල්වලින් අමතල තියෙනවා. මල් මාලාවලින් අමතල තියෙනවා. හමුවෙල තියෙනවා එකිනෙකා. අඬල කළකිරිල ගිහිල්ලත් තියෙනවා. කොලිත උපතිස්ස වගේ කළකිරිලත් තියෙනවා. දැන් මේ අයගේ චර්යාව සීගිරියට නැගල හැසිරුණ හැටි තමයි අර ගීවල තිබෙන්නේ. ව්‍යාකරණ වාග්විද්‍යාව ආදිය පමණක් නොවේ. ඒ අය හමුවෙන්න තවත් කට්ටිය සීගිරි ගිහිල්ල තියෙනවා. මේ කාන්තාවන් හරිම ලස්සන කාන්තාවන් තරුණ කාන්තාවන් එහෙ ගිහිල්ල මෙහේ මේ මේ කටයුත්ත කරමින් ඉන්න කොට තරුණ පිරිමි පිරිසකුත් ගිහිල්ල තියෙනවා. මේ සියලූ දෙනා එක්කහු වුණ තැනක් තමා සීගිරිය. ඒ පිළිබඳ විස්තර කිරීමට දැන් වේලාවක් නැති නිසා මා මේ අර්ථ සම්පීණ්ඩනයක් පමණයි ඉදිරිපත් කරන්නෙ. සීගිරියේ පැවතිලා තියෙනවා එක්තරා උත්සවයක්. සශ‍්‍රීකත්වය සඳහා උත්සවයක්. තරුණ පිරිසගේ උත්සවයක්. හමුවීමේ උත්සවයක්. සීගිරියේ පාදමෙහි පාදමෙහි තියෙන කැළැවෙහි තරුණයන් තරුණියන් හමුවෙලා තියෙනවා. සීගිරි බෙයෙදෙහි හමුවෙලා තියෙනවා. සීගිරි කන්ද මුදුනෙහි හමුවෙලා තියෙනවා. මේ සියල්ල ඒ ගීවල තියෙනවා. මෙන්න මෙතනින් කුමක් ද වැටහෙන්නේ. අනාගමික, බෞද්ධ නොවන එක්තරා හමුවක් තරුණයන් ගේ හමුවක් සශ‍්‍රීකත්වය සඳහා සීගිරියේ පැවතිලා තියෙනවා, අවුරුදු පතා හෝ යම් යම කාලපරිච්ෙඡ්ද ඇතිව රාජානුග‍්‍රහය ම ඇතත් නැතත්. බොහෝ පොහොසතුන්ගේ, බොහෝ උගතුන්ටගේ ස්වාමීන් වහන්සේලාගේ, ප‍්‍රභූවරුන්ගේ, විදේශිකයන්ගේ සහයෝගය ඇති ව.

මේ රූප දැන් කුමක් ද? එකතැනක තියෙනවා ඒ ගීයෙහි ඔබට මල් අතට දී මා ඔබගේ රූපය ඇන්දෙමි මම මේ චිත‍්‍ර ශිල්පියෙක් කතා කරන්නේ. කවිය හැදූ චිත‍්‍රශිල්පියා. ඔහු කවියෙක් සේ ම චිත‍්‍ර ශිල්පියෙක්. එ තුමා මේ කාන්තාව ගේ රූප අර භිත්තියේ ඇදල කියනව මට ස්වර්ගයක් සේ වැටහුනා, සීගිරිය මට ස්වර්ගයක් එහෙම කළොත්. ඔබ තුමිය මල් අතින් අරන් ඉන්න රූපය මම ඇන්ද මෙතන. තවත් තැන්වල සීගිරිය මත තිබී කාන්තාවන්, ගී ගැයූ කාන්තාවන්, බළාපොරොත්තුවෙන් හිටි කාන්තාවන් මේ සියලූ දෙනාගේ හැඟුම් අර ගී වල පවතිනව. එක විශේෂ වටිනාකමකින් යුක්ත ගීයක එක තැනැත්තෙක් කියනවා අග්නෙනි අත් සලවු අග්නෙනි කියන්නේ අඟනෙනි, කාන්තාවනි අත් සලවු නව බක් ලසන් දුන් මිනිසක්මි නොවජන්නේ අග්නෙනි අත් සලවු – මට එන්න කියන්න මෙහෙම එන්න කියන්න. අත් සලවු. නව බක් ලසන් දුන් මිනිසක්මි නොවජන්නේ – අලූත් බක් මාසේ හඳ දැකල ආපු මා වැනි තැනැත්තෙක් ප‍්‍රතික්‍ෂේප කරන්න එපා. වැටහුනා ද? නවබක් ලසන්, මේ මෑතක් වනතුරු අපි ගමේ දි බැලූවා. අලූත් බක් මාසේ හඳ. සිංහල අවුරුද්දෙන් පස්සේ අපි බලනව නේද හඳ නැද්ද? දැන් නම් නැහැ කොළඹ මම හිතන්නේ අපේ ගමේ තාම කරනව. අපේ‍්‍රල් මාසේ 13-14 පහුවෙනකොට කවද හෝ සුමාන දෙකක් ඇතුළත නව හඳක් පායනව. ඒක තමයි හඳ බැලීමේ උත්සවය. ඒ හඳ බැලීම මම කරල ආවේ කාන්තාවෙනි, ඒ නිසා මාව ප‍්‍රතික්ක්‍ෂේප කරන්න එපා. අත් සලවු – මෙහෙම කරල මට කතාකරනවා. මාව වර්ජනයක කරන්න එපා. මම අලූත් අවුරුදු හඳ බලල ආව තැනැත්තෙක්. මෙයින් අපට වැටහෙනවා දැන් එක්තරා ඓතිහාසික සත්‍යයක්. සිංහල අලූත් අවුරුද්දේ ආරම්භය හෝ අවස්ථාව නොවේද මේයින් පෙන්නන්න යන බව. මෙබඳු අලූත් අලූත් අදහස් සමූහයක් සීගිරියෙන් නැඟිගෙන එන බව මා ඔබ සියලූ දෙනාට මා නව අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්නට කැමතියි.

සීගිරිය රජ දහනක් නොවේ. අපේ පුළුල් සාමාන්‍ය මතිමතාන්තර ටිකක් තියෙනවා. සීගිරියේ රාජධානියක් තිබුනේ නැහැ. කොහේවත් සාක්‍ක්ෂියක් නැහැ. කාශ්‍යප රජතුමා තමන්ගේ රාජධානිය පිහිටුවාගෙන මාළිඟාවේ විසූ බවක් කොහේවත් සඳහන් වන්නේ නැහැ. මෙය නගරයක් ද නොවේ. කොහේවත් නෑ මෙ තරම් ගී සිය ගණනක් තියෙනවා කොහේවත් නෑ සිගිරිය නගරයක් බව. නගර කියන වචනය, නුවර කියන වචනය, පුර කියන වචනය සීගිරි ගී වල ඇත්තෙ ම නෑ. මහාවංශයෙත් සඳහන් නෑ. එකම දේ සීගිරිය වටහා ගැනීමට ඒ මට්ටමෙන් මහාවංශයේ තියෙනවා මුගලන් රජතුමා තමාගේ සහෝදරයා මැරුණු නිසා තමාගේ හිත සනසගත්තා තමාට තමා ගේ අයියා මැරීමට අවස්ථාවක් නොතබා තමා ම මරා ගත්ත එක. ස්වයං ඝාතණයක් කරගත්ත කාශ්‍යප. ඉතා විරළ රජ කෙනෙක්. වීර රජ කොනක්.

මට දවසක් දා ගල්කිස්සේ දි ජර්මන් හමුදාපතියෙක් හමුවෙලා මේ චරිතය අගය කළා එ තුමා. මේ මොහොතෙන් එ තුමා මොහොතෙන් දිනන්න ගිය යුද්ධය කාගේවත් වරදක් නොව ස්වාභාවික බාධකයක් තිබුණ නිසා එ තුමා දන්නවා දැන් මැරෙනවා ඒ මොහොතේ කඩුව ඇදල ඇරගෙන බෙල්ල කපල මෙන්න මෙහෙම පෙන්නල මැරිල වැටුනා. මේ වගේ රජ කෙනෙක් ගැන මා අහල නැහැ ඒ ජර්මානු සෙනෙවියා මට කිවුවා. ඉතා ම විරල වීර චරිතයක් සහිත තැනැත්තෙක් කාශ්‍යප. කාශ්‍යප ගැන සීගිරිය ගැන මහාවංශයේ ගී 11 තියෙන්නෙ. ඒ 11 නැහැ දුටුගැමුණු රජතුමාට වගේ මහා ප‍්‍රශස්ති කියල නෑ. පරිච්ඡේද ගණනක් යොමුකරල නෑ කාශ්‍යපට මහාවංශය. ශ්ලෝක ගාථා 11ක් තියෙනවා. ඒ ගාථා 11 තියෙන දේ ඇති හිතවතුනි, කාශ්‍යප කවුද කියල වටහාගන්න. වෙන රජවරු කරපු සියලූ දේ කාශ්‍යපත් කරල තියෙනවා. සමාජ වැඩ, පරිසර දියුණු කිරීම, ආගමික වැඩ, රාජ්‍ය වැඩ වෙන රජ කොනකු වගේ ම කාශ්‍යප ඒ අවුරුදු 18 දී කරල තියෙනවා ඒ ගී ගාථා 11 තියෙනවා. ඒ සියල්ල අතරෙහි සීගිරිය ආලකමන්දාවක් වන්න ගොඩනැංගුවා. සීගිරිය නගරයක් බවවත් තමා එහි වාසය කළ බවවත්, තමා ගේ අගනුවර වූ බවවත් තමා ගේ බලකොටුව වූ බවවත් කොහේවත් කියල නෑ. හැබැයි නගරාංග සීගිරියෙහි තිබුණා. නගරයකට අයත් වන භෞතික ලක්‍ෂණ තිබුණා. ඇළ තිබුනා. පරිකාව නගරයකට අවශ්‍ය. උද්‍යානයක් තිබුණා. තාමත් තියෙනවා මෙය. තාප්පෙ තිබුණා නගරය අවට. තුන් පේළියක් තිබුණ ඒව. නගරයකට අවශ්‍ය අංග තිබුනා. ඒ සේ ම මාලයෙන් මාලය අලංකාර කරපු තව තව පර්වතයත් උද්‍යානයක් අතර තවත් මාලක තිබුනා. ඒ අතරින් මේ අපූර්ව දෙයක් කැටපත් පවුර. ඒකේ ලියාපු දේ සහා උඩ නිර්මාණය කළ මාළිඟාව සහ මැද බෙයෙදෙහි චිත‍්‍ර සමූහය. මේ සියල්ල එ තුමා කළා රාජකීය සෞන්දර්යවාදියෙක් වශයෙන්. කාශ්‍යප කළේ කුමක් ද අන්තිමට. යුද්ධයෙන් පැරදීම නොව දිනීම ලැබුවා. තමා ගේ සහෝදරයා මැරීමේ අවස්ථාව, ඉතා අයහපත් අවස්ථාවක් ඒකෙන් මම බේරුණා කියල සතුටින් අර සියලූ වස්තුව රැස්කරල ආපහු එ තුමා ගියා කොහාටෙයි ගියේ, නගරං වරං. වර නගරයට ගියා පුර වරයට විශාල නගරයට ප‍්‍රධාන නගරයට කාශ්‍යප ගියා. කොහාටද ගියේ අනුරාධපුරයට. අනුරාධපුරය තමා තාම ප‍්‍රධාන නගරය. එ තුමා මෙතන මේ අගනුවරින් ගියා නම් අත්හැරපු අගනුවරට, ඒක කියයි වෙනම. මෙය අගනුවරක් නොවේ. එ තුමා මේ සියලූ වස්තුව පටවාගෙන එ තුමා ගියා තමාට හිමි අගනුවරට. කිසිම හේතුවක් අපට සොයා ගන්නට අමාරුයි සීගිරිය නගරයක් ද? බලකොටුවක් ද? අගනුවරක් ද? රාජධානයක් ද? යන බව. සීගිරිය ලංකාවේ ආලකමන්දාව යන තරමට අපට නිගමනය කළ හැකියි.

හිතවතුනි, මේ සීගිරිය පිළිබඳ ව අමුතු දෘශ්ටියකින් යුතු ව මා ඉදිරිපත් කළ අදහස ඔබ සියලූ දෙනාගේ අවබෝධය සඳහා විවේචනය සඳහා පරණවිතාන ගේ නාමයෙන් ඉදිරිපත් කරනවා, එ තුමාට ගෞරවයක් වශයෙන් මේ අවස්ථාවේ දී. මාගේ දේශනය මෙතනින් මා කෙළවර කරනවා අසාගෙන සිටි ඔබ සියලූ දෙනාට ආරාධනය කරමින්, මෙය විවේචනයට පත් කොට එය අප ගේ ඉතිහාසයෙහි පැවතුණු එක්තරා සියලූ උත්සව අතරින් ඉතා වැදගත් උත්සවයක් බව කල්පනා කිරීමට අමුතු දෘශ්ටිකෝණයකින් යුක්තව සීගිරිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සියල්ල සීගිරියට ගෞරවයක් වශයෙන් සීගිරිය පිළිබඳ අධ්‍යයනය කොට සීගිරිය පිළිබඳ නොයෙක් න්‍යායන් මතිමතාන්තර ඉදිරිපත් කළ ඒ සියල්ලන්ටත් ගෞරවයක් වශයෙන් මා ඉදිරිපත් කරමින් ඔබ සියලූ දෙනා ගේ ප‍්‍රශ්න මේ පිළිබඳ තවත් දේශන ආදිය ඇද්දො හෝයි යන සැකයෙන් ඒ සියල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් සලසමින් මා මොහොතකට නිහඬ වෙනවා ඔබ සියල්ලට මේ වේදිකාව භාර කරමින්.

බොහොම ස්තූතියි.

සකස් කළේ : චන්දිම අඹන්වල

සාමූහික පැවැත්ම උදෙසා උරුමය: සාක් කලාපය තුළ ශ‍්‍රී ලංකාවේ කාර්යභාරය

සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

පරිවර්තනය : එච්.ජි. දයාසිසිර

D.A. Rajapakse-Sri Lanka-Archaeology.lk
ඩි.ඒ්. රාජපක්ෂ මහතා (ෙමම රූපය http://www.sundayobserver.lk අඩවිෙයන් උපුටා ගන්නා ලදී)

ගෞරවනීය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, රාජපක්ෂ ආර්යාවනි, ගරු ඞී. ඒ. රාජපක්ෂ මැතිදුන්ගේ පවුලේ සාමාජික භවතුනි, ගරු පාර්ලිමේන්තු මැතිඇමතිවරුනි, ආරාධිත අමුත්තනි, මහත්මාවරුනි, මහත්මියනි, දකුණේ දිළිඳු පීඩිත මිනිසුන් වෙනුවෙන් හඬ නගා ඒකාධිපති වියගහේ බරෙන් නිදහස්වීමට එම ජනතාව බලමුළු ගැන් වූ “හඬක් නැතියවුන්ගේ හඬ” ඞී. ඒ. රාජපක්ෂ උදාර ලංකා පුත‍්‍රයාණන් අනුස්මරණය සඳහා අද අප මෙහි රැස්ව සිටිමු. ඞී. ඒ. රාජපක්ෂයාණන් තුළ දකුණ ගොඩ නැංවීමට එදා පැවැති අභිප‍්‍රාය මෙදා එතුමාණන්ගේ දූ දරු පරපුර “ජාතිය ගොඩ නැංවීමේ” ප‍්‍රයත්නයක් බවට පරිවර්තනය කර ඇත. එම නිසා මගේ දේශනය හුදෙක් එතුමාණන්ගේ ගුණ සැමරීමකට ම ලඝු නොකර, එතුමාණන්ගේ දෙටුපුත් ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමාණන්ට සාක් සංවිධානයේ ගරු සභාපති ලෙස ජාත්‍යන්තර හා ආසියානු කලාපය තුළ රඟ දැක්වීමට ඇති භූමිකාවේ “උරුමයෙන් නියම වූ ස්වභාවය” මතු කර දැක්වීමකට යොමු වනු ඇත.

පූර්විකාව
ශ‍්‍රී ලාංකිකයකු මෙන් ම ආසියානුවකු, ගෝලීය වැසියකු ලෙස මෙම කතිකාවට පිවීසීමට මම කැමැත්තෙමි. පළමුව කිව යුත්තේ අප මෙවැනි දීවයිනක උපත ලැබීම භාග්‍යයක් බවයි. මක් නිසාද යත් එමගින් පටු කොදෙව් මානසිකත්වයෙන් ඔබ්බට, වෙරළින් එහා සයුරු ඔස්සේ නැණනුවණ මෙහෙයවා අපේ දැක්ම පුළුල් කර ගත යුතු බවට අපට බල කෙරෙන බැවිනි. එමගින් අප බාහිර හා අභ්‍යන්තර සාධක සම්මිශ‍්‍රණයෙන් ගොඩ නැගුණු, සම්ප‍්‍රදායෙන් උකහාගත් නූතනත්වයක් ඇති අතිශයිින් විචිත‍්‍ර ප්‍රෞඪ උරුමයක හිමිකරුවන් කර ඇති හෙයිනි. දකුණු ආසියාව මේ වන විට ගෝලීය සංවර්ධනයේ මුවවිට අබියස සිටීම හා අනෙක් අතට විවිධ මුලධර්මවාදී සෙවණැලි වැටීමෙන් නොමගට පිළිපන් විවිධ ත‍්‍රස්තවාදී සංවිධාන නිසා ව්‍යාකූලත්වයට පත් වූ කලාපයක් වීම අනෙක් වැදගත් කරුණ වෙයි. දශක තුනක කාලයක් තිස්සේ (පළමුව දකුණේ ද දෙවනුව උතුරේ ද) ත‍්‍රස්තවාදය නිසා ලේ වැගිරෙන රටක් ලෙස, අප සාක් කලාපය තුළ දෙවැනි වන්නේ ඇෆ්ඝන්ස්ථානයට පමණි. අපේ ඓතිහාසික දායාදයන් සමාජ සංස්කෘතික පදනම සොබා දහම විසින් ලබාදුන් ද්‍රව්‍යමය ත්‍යාගයන් මෙන් ම ත‍්‍රස්තවාදීන්ගේ ආලාපාළු කිරීම් වලින් ඇද නොවැටී සිටීමට අද අපට ඇති චිරස්ථායී ශක්තිය කලාපයේ අන් රටවල් අබිභවා යයි. අපේ මව්බිම තවමත් සාක්ෂරතාව, ඒක පුද්ගල ආදායම, සෞඛ්‍ය පහසුකම්, යටිතල පහසුකම් වලින් කලාපයේ අන් රටවලට වඩා ඉදිරියෙන් සිටින බවට අපට උදම් ඇනිය හැක. ඒ හැමටම වඩා, නූතන පාලන තන්ත‍්‍රය එහි දේශපාලන දැක්ම හා යුදමය ශක්තියේ මහිමයෙන් ත‍්‍රස්තවාදී ශාපය අවසන් කිරීමට තමාට ඇති අසහාය ශක්තිය ලෝකය හමුවේ ප‍්‍රදර්ශනය කරමින් සිටියි. විනාශකාරී ත‍්‍රස්තවාදයෙන් රට මුදවා ගෙන යහපත් හෙටක් ගොඩනැගීමට අප වසර ගණනාවක් තිස්සේ ගෙන ඇති කි‍්‍රයාමාර්ග හා ලබා ඇතිි අත්දැකීම් සෙසු රටවලට ද මූලාදර්ශ සපයයි. එම නිසා සාක් කලාපය තුළ වඩාත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අපට ඓතිහාසිකවත් භූගෝලීයවත් නියම කර ඇති විටක අප ඒ වගකීම නිහතමානීව භාරගෙන ඉටු කිරීමට අවැසි මාර්ග සිතියම සකස් කර ගෙන කලාපීය එකමුතුව, අභිවෘද්ධිය හා තිිරසාර සාමය ගොඩ නැගීමට ක‍්‍රියා කළ යුතු ය.

නේක වර්ණ දේශ සිත්තම
මෙම දේශනයේ මූලික පද දෙස බලමු. ශ‍්‍රී ලංකාව, සාක් කලාපය, උරුමය, සාමූහික පැවැත්ම යන මේ පද, ශ‍්‍රී ලංකාවේ කාර්යභාරය හඳුනා ගැනීමට ඉඟි සපයයි. අනාගත දැක්මකින් යුතුව කලාපයේ ප‍්‍රධාන චරිතයේ භූමිකාව රඟ දැක්වීමට මග පෙන්වයි. ශ‍්‍රී ලංකාව සාක් කලාපය තුළ භූගෝලීය වශයෙන් වෙන්ව පිහිටි අනන්‍ය, විචිත‍්‍ර සංස්කෘතියකින් යුතු රටක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. අන්තර්ජාතික නාවික මධ්‍යස්ථානයක් ලෙස පිහිටීම නිසා ඈත පෙරදිග, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, බටහිර ආසියාව, යුරෝපය, නැගෙනහිර අප‍්‍රිකාව වැනි දේශාන්තර බලපෑම් වලට ලක්වීමෙන් භාෂාමය, ජනවාර්ගික, සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් සම්මිශ‍්‍රිත ලක්ෂණ සහිත ය. එම නිසා මෙම දිවයින එහි භූගෝලීය සීමාව තුල ගොඩ නගා ගන්නා සංස්කෘතික පෞරුෂය සාක් කලාපයේ පොදු නියෝජනයක් වෙයි. පුරාණ ලෝකය තැප්‍රොබේන්, සෙරන්ඩිබ්, සෙයිලෝ හා සිලෝන් වැනි නම්වලි්න් හඳුනා ගෙන සිටි ශ‍්‍රී ලංකාව පිහිටා ඇත්තේ සාක් කලාපය තුළ ඉන්දියානු උප මහාද්වීපයේ දකුණු අන්තයේ ය. ගුහා හා එළිමහන් තැන්වල විසූ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ පැවැත්ම ක‍්‍රිස්තු පූර්ව 30,000 තරම් අතීතයට යයි. ඉන්දියානු උප මහාද්වීපයේ තාක්ෂණික සංස්කෘතික විස්තීරණයේ දිගුවක් ලෙස යකඩ තාක්ෂණය හඳුන ගත් ග‍්‍රාමීය සංස්කෘතිය ක‍්‍රිස්තුපූර්ව පළමු සහස‍්‍රකයේ හඳුනා ගනී. වී ඇතුළු භෝග හා සත්ව ගෘහස්තකරණය ගෘහ කර්මාන්ත ලෝහ භාවිතය මහාශිලා සුසාන භාවිතය මූලික ජනාවාස මෙම සංස්කෘතියේ ලක්ෂණ විය. ක‍්‍රිස්තු පූර්ව 4 වන සියවස වන විට එම සංස්කෘතිය දිවයින පුරාම ව්‍යාප්තව තිබිණ. අනතුරුව එන ඓතිහාසික යුගයේ දී විශාල ආරාමික සංකීර්ණ අභ්‍යන්තර නාවික නගර යෝධ ජලාශ හා ජලමාර්ග සෞන්දර්යයෙන් අනූන උද්‍යාන වෙනත් ආගමික හා රාජ්‍ය ගොඩනැගිලි බෞද්ධ හා හින්දු සම්පදායයන්ගෙන් අපට උරුම විය. 13 වන සියවසෙන් පසුව කුළුබඩු වෙළඳාම ඔස්සේ පැමිණි ඉස්ලාමික සම්ප‍්‍රදායයන් අපගේ සංස්කෘතියට තුන්වැනි මානයක් එක් කළේ ය. අනතුරුව බටහිර වෙළඳ ප‍්‍රජාව හා පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි පාලනයන් යටතේ කලාව, වාස්තු විද්‍යාව, සංගීතය, භාෂාව, ආගම, සංස්කෘතිය ආර්ථිකය, දේශපාලන ව්‍යුහය ආදී සෑම අංශයක් තුළටම සියවස් තුනකට වැඩි කාලයක් තිස්සේ එන්නත් කළ ලක්ෂණ නිසා ශ‍්‍රී ලංකා සමාජය අසල්වැසි අනෙක් දකුණු ආසියානුවන්ගෙන් යම්තාක් දුරකට වෙනස් විශ්වදේශී පෞරුෂයක් සහිත සමාජයක් බවට පරිවර්තනය විය. එම නිසා ලංකා සමාජය සාක් රටවල සංස්කෘතිය හා බද්ධ විය හැකි බහු සංස්කෘතික බහුවාර්ගික අනන්‍යතාවක් එහි අතීතය විසින් උරුම කර දි ඇති අතිශයින් සංවර්ධිත වූවකි.

දකුණු ආසියාව හඳුනා ගැනීම
උදාන ප‍්‍රකාශ වලින් පසුව, සාක් නිවැරදිව හඳුනා ගන්නේ කෙසේදැයි විවරණය කිරීමට මට ඉඩ දෙන්න. දකුණු ආසියාව භූගෝලීයව හඳුනා ගන්නේ කෙසේ ද? නූතන සාක් භූ දේශපාලන කඩයිම (ඇෆ්ඝනිස්ථානය ඊට එක් කරන තුරු) යටත් විජිත ගොඩ නැගීමකි. එය 1949ට පෙර බි‍්‍රතාන්‍ය පාලනයට නතුව තිබූ ඊට අයත් ආරක්ෂිත රාජ්‍යයන් වූ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින්, නේපාලය හා පකිස්ථානය යන රටවලින් සමන්විත විය. මෙම කලාපීය අනන්‍යතාව තාර්කික දැක්වීමක් ද? යටත් විජිත දැක්වීම පටු අතාර්කික වූවක් ද? අපගේ වසර 3000කට එහා දිවෙන සංස්කෘතික හුවමාරු රටාව හා මෙම දැක්වීම ගැලපෙන්නේ කෙසේ ද? වඩාත් පුළුල් ඓතිහාසික හා සංස්කෘතික පදනමකින් සාක් කලාපය යලි නිර්වචනය කර ගත යුතු වෙයි ද? එ මගින් දකුණු ආසියාව වඩාත් පුළුල් සම්බන්ධීකරණයකින් යුතු කලාපයක් කරගත හැක. දකුණු මැද භූමි කලාපය ආසියානු භූ දර්ශනය තුළ වඩාත් කැපී පෙනෙයි. එහි වඩාත් පැහැදිලි භෞමික සීමාවන් නිසා එයටම ආවේණික සංස්කෘතික අනන්‍යතාවකින් යුතු ය. එය ඓතිහාසිකව පරිනාමණය වූ සංස්කෘතික හා ස්වභාවික උරුමයන්ගෙන් පොහොසත් ය. හින්දු බෞද්ධ හා ඉස්ලාම් සංස්කෘතික උරුමයන්ගේ තිරස් සබඳතා ඔස්සේ ගොඩනැගුණු ජීවන දර්ශනයන් හා මහා ශිෂ්ටාචාරයක සාඩම්බර හිමිකරුවන් වශයෙන් බහුවිධතාව අගයන පැවැත්මක් තහවුරු වූ කලාපයක් විය. බටහිර කලාපයේ ඇති ඇෆ්ඝනිස්ථානය ද දැන් සාක් සාමාජිකයෙකි. මෙය සැබවින් ම සාධනීය වර්ධනයකි. නමුත් මහත් අස්වැසිල්ලකට කරුණක් නම් නොවේ. ඇෆ්ඝනිස්ථානයට මීට කලින් පූර්ණ සාමාජිකත්වය ලැබිය යතුව තිබිණ. වෛදික සම්ප‍්‍රදායයන්ගෙන් මධ්‍යධරණී හා මධ්‍ය ආසියානු සංස්කෘතීන්ගෙන් මහායාන බුදුදහමින් පසුව ඉස්ලාම් සම්ප‍්‍රායයන්ගෙන් පොහොසත් සංස්කෘතියක් උරුම කර ගත් ඇෆ්ඝනිස්ථානය අප කලාපය පමණක් නොව ඉන් ඔබ්බෙහි සේද මාවතේ වූ රටවල් ද පෝෂණය කළ රටකි. වෙනත් සාමාජික රටවල් හා සම අයිතිවාසිකම් ඇති රටක් ලෙස ඇෆ්ඝනිස්ථානය පිළිගැනීම යුක්ති යුක්ත ය. ඉදින් අපේ සහෝදරත්වයේ උණුසුම් දෑත් දිගුකර නැගෙනහිර කලාපයේ සිටින සහෝදර මියන්මාරය ළං කර නොගන්නේ ඇයි? මියන්මාරවරුන් ද දකුණු ආසියානු ශිෂ්ටාචාරයේ කොටස්කරුවන් ය. ලෝකඩ තාක්ෂණය හා ඇතැම් විට වී වගාව ද මුලින් ම මෙම කලාපයට පිවිසුණේ ස්වර්ණ භූමි හෙවත් මියන්මාරය ඔස්සේ යග ශ‍්‍රී ලංකාව වසර දහස් ගණනක් තිස්සේ මියන්මාරය සමග සංස්කෘතික සබඳතා පවත්වා ඇත. අප මේ රට එහි සංස්කෘතිය හා ජනතාව සාක් සංවිධානයෙන් ඈත් කර හුදකලා කර තබන්නේ කෙසේ ද? එම නිසා බටහිරින් ඉන්දුකුෂ් උතුරින් පහල හිමාලය නැගෙනහිරින් අරකන්යෝමාව දකුණින් ඉන්දියානු සාගරය සාක් සීමාවන් ලෙස ප‍්‍රතිනිර්වචනය කළ යුතු ය. එමගින් පමණක් වසර දහස් ගණනක් තිස්සේ සිදු වූ සංස්කෘතික පෝෂණය පුනර්ජීවනය කළ හැක. එසේ සීමා පුළුල් කිරීමෙන් අපට දේශපාලනිකව හා ආර්ථිකව වඩාත් ශක්තිමත් විය හැක. එම නිසා සාක් සීමා ප‍්‍රතිනිර්වචනය කර ඒවා පුළුල් කිරීම කාලීන අවශ්‍යතාවක් පමණක් නොව ඓතිහාසික අවශ්‍යතාවයක් ද වෙයි.

ඉන්දියන් සාගර නිම් වළල්ල හා දකුණු ආසියාව (South asia & the Indian Ocean Rim -IOR)
ඉන්දියන් සාගර නිම් වළල්ල තුළ සාක් කලාපය පුළුල් භෞමික කලාපයක් ලෙස යළි සංදර්භගත කළ යුතු වෙයි. ඉන්දියන් සාගර නිම් වළල්ලේ ඒකීය හැඩගැස්ම අපේ කලාපය තුළ මැනැවින් හඳුනා ගෙන නැත. එම ජාත්‍යන්තර සංස්කෘතික හා දේශපාලන සිතියම නැමැති පුළුල් කැන්වසයේ ශ‍්‍රී ලංකාව පිහිටන ස්ථානය අනුව ඊට සාක් කලාපය තුල ප‍්‍රමුඛ වැඩ කොටසක් කළ හැක. පළමුව කිව යුත්තේ ඉන්දියන් සාගර නිම් වළල්ලේ පිහිටි රටවල් එකිනෙක යා වුණ එක් මාදිලියකින් යුතු මහද්වීපික චන්ද්‍රවංකයක් ලෙස පවතින බවයි. එහි භෞතික ප‍්‍රවේශයන් නැගෙනහිර අප‍්‍රිකාවට හා අග්නිදිග ආසියාවට දිගු වෙයි. එ නිසා එය ඉතිහාසය මුළුල්ලේම භෞමික හා සංස්කෘතික සබඳතා දාමයක් එම කලාප සමග පවත්වා ගෙන යමින් අන්‍යෝන්‍යව පෝෂණය වෙයි. ආසියානු කලාපය ලෝක ශිෂ්ටාචාරයට වටිනා දේ දායාද කිරීමට සමත් වූයේ මෙම වාස්තවික තත්ත්වයන් උරුම කර ගත් හෙයිනි. වඩාත් ම වැදගත් කරුණ නම් ඉන්දියන් සාගර නිම් වළල්ල ප‍්‍රධාන ශිෂ්ටාචාරධාරාවන් දෙකක් හා සම්බන්ධ වන ලෙස පිහිටා තිබීමයි. ශිෂටාචාරයේ මුල් අවධියේ සිට ම මෙම ධාරාවන් දෙක හා පැවැති සබඳතාව තීරණාත්මක ය. ඉන්දියන් සාගරයේ බටහිර නිම් වළල්ල පහල නයිල් නිම්නය හා මධ්‍යධරණී මුහුද සම්බන්ධ වී තිබිණ. එහි නැගෙනහිර නිම් වළල්ල චීනයේ මහා භූමි ප‍්‍රදේශය හා බැඳී තිබිණ. මෙම සම්පත් බහුල ප‍්‍රදේශ හා සංස්කෘතිකව ගොඩ නැගුණ අන්තර් සම්බන්ධිකරණ ජාලයක් පුරාතන ලෝකයේ ය.

සාක් අනන්‍යතාව
අපගේ කලාපයේ විවිධ සමාජ ආර්ථික ස්ථරයන්ගෙන් නියෝජනය කරන බිලියන 1.5ක ජනගහනයක් වෙසෙයි. කත්මන්ඩුහි ප‍්‍රකාශයට පත් කළ “හිමාල්” 2008 අගෝ්ස්තු කලාපයේ එහි දැක්ම ලෙස සටහන් කර ඇත්තේ “ඉතිහාසයේ පැවැති සාමූහිකත්වය යම් පමණකින් හෝ යළි ගොඩනගා අපගේ පොදු වාසභූමියේ කිසිදු ගැටුමක් ඇතිවීම වැළැක්වීමට . . . . ” එම නිසා 1985 දී සාක් ගොඩ නැගීමේ දී පැවැති දේශපාලන එළඹුමෙන් මිදී අපේ සැබෑ සංස්කෘතික කොටස් කරුවන් හඳුනාගත යුතු ය. අපගේ පොදු සංරචකයන් ඔස්සේ ගොඩ නැගෙන එවැනි එකමුතුවක් මගින් මෙම කලාපය පොදු උරුමයන් සහිත ඒකකයක් ලෙස ලෝකයට ඉදිරිපත් කළ හැක. මෙය බී. ජී. වර්ගෙසේ (B.G. Verghese) නම් මාධ්‍යවේදියා විසින් ඉතා ඥානාන්විත ලෙස “දකූණු ආසියාව භූගොලීයව පමණක් නොවේ අදහස්, අත්දැකීම්, සංස්කෘතික අන්තර් ක‍්‍රියාවන්ගෙන්, මධ්‍යස්ත අභිලාෂයන්ගෙන් අතීතයේ මෙන්ම අනාගතයේත් බැඳී තිබිය යුතුයි” යනුවෙන් අවධාරණය කරයි. කෙසේ නමුත් ගෝලීයකරණය ක‍්‍රියාදාමයට ප‍්‍රවිෂ්ට වන අවස්ථාව වන විට වුව ද අප ජාතික වශයෙන් හා කලාපීය වශයෙන් ගොඩ නැගෙන්නට අසමත් ව සිටියෙමු. පශ්චාත් යටත්විජිත සංදර්භය තුල දේශපාලන බලය හා සම්පත් පරිශීලනය සඳහා ඇති ගැටුම්කාරී ප‍්‍රවේශය, අනන්‍යතාව සඳහා වන අරගල ඔස්සේ අපට යන්නට සිදු වූයේ කටුක වේදනාකාරී මාර්ගයකයි. දකුණු ආසියාව කැබලි සමූහයකට බෙදා වෙන්කිරීම යටත්විජිත ව්‍යාපෘතියක් වූ බව රහසක් නොවේ. ව්‍යාජ වාර්ගික අනන්‍යතා ගොඩ නගමින් සමාජ විෂමතා ගොඩ නැගීමේ ඔවුන්ගේ ව්‍යාපෘතිය කොතරම් සාර්ථක වූයේ ද යත් පශ්චාද් යටත් විජිත යුගයේ ද වාර්ගික ආන්තිකකරණය වඩාත් තිව‍්‍ර වෙමින් ආසියානු සමාජය තුළ ධ‍්‍රැවීකරණයේ විනාශකාරී චණ්ඩ මාරුතය හමා යයි. තනි ජාතියක හෝ තනි සංස්කෘතියක හුදකලා පැවැත්මක් තිබිය නොහැක. මානව සමාජය ගොඩනැගෙන්නේ සංස්කෘතික හුවමාරු ක‍්‍රියාදාමය තුළ ය. විතැන් වූ මානව කණ්ඩායමකට වුව ද හුදකලා ප‍්‍රවේශයක් නැත. දකුණු ආසියාවේ අප දැන් මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය අනාගත දැක්මක් සහිත සාර්වභෞමික ජාතික, ආගමික අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමයි. සාක් රටවල අතීත සහයෝගිතාව ගැන උදම් ඇනීමෙන් සෑහීමකට පත් නොවී පොදු අනාගතයක් සඳහා යාමට ප‍්‍රදීපාලෝකයක් දැල්විය යුතු ය. අනාගත පරපුරට ප‍්‍රවිශ්ඨ වීමට හැකි සාක් සහයෝගිතා ආත්මීය වාහල්කඩක් තැනිය යුතු ය. එය අවශ්‍යයෙන් ම දකුණු ආසියාවේ භෞතික හා පාරභෞතික උරුමය අමුද්‍රව්‍ය කර තැනූවක් විය යුතු ය. සියවස් ගණනාවක් ම දකුණු ආසියාවේ දියුණු සංස්කෘතික පෞරුෂය ගොඩ නැගුනේ සංස්කෘතික අන්තර් සබඳතා තුලිනිග වසර තුන් දහසක පමණ බෙදාහදා ගත් උරුමයකින් පෝෂණය වූ දකුණු ආසියානු රටවල සංස්කෘතියේ සම්භාව්‍ය ප‍්‍රකාශන වල විවිධත්වය මෙන් ම පොදු ලක්ෂණ ද කැටි ව ඇත. එම නිසා අපේ සංස්කෘතිය අවශ්‍යයෙන් ම අනන්‍ය හා අන්‍යෝන්‍ය ද වේ. දකුණු ආසියානු වැසින්ගේ බෙදාහදා ගත් සංස්කෘතිය හඳුනා ගැනීමට එම අන්‍යෝන්‍ය ලක්ෂණ “උපන් ලකුණක්” වේ.

උරුමය – ප‍්‍රතිනිර්වචනය
සහයෝගිතාව සඳහා අවශ්‍ය පදනම සකසන උරුමය දෙසට සාකච්ඡාව නාභිගත කිරීම අත්‍යවශ්‍ය ය. මෙම කතිකාවත තුළ උරුමය සැළකෙන්නේ බහු මුහුණුවරකින් යුතු උත්පේ‍්‍රරකයක් ලෙසයි. දකුණු ආසියාවේ සාමයික පැවැත්ම හා අන්තර් ප‍්‍රජා සහයෝගිතාව සඳහා ප‍්‍රධානතම වාහකය උරුමය යි. මෙහි දී පූර්ව යටත්විජිත උරුමයේ ස්වභාවය හැදෑරීම අත්‍යවශ්‍ය ය. බහිෂ්කරණය වෙනුවට ස්වීකරණය හඳුනාගත යුතු ය. එ මගින් යටත්විජිත පාලකයන් හා පසුව දේශිය තීරණකාරකයන් විසින් වාර්ගික ආගමික හා දේශපාලනික වශයෙන් ඇති කරන ලද අසමානකම් සමනය කරමින් බිම් මට්ටමේ ප‍්‍රජාවට එක් විය හැක. උරුමය යන වදන අවබෝධය බෙදාහදා ගැනීම හා සහයෝගිතාව සඳහා පොදු යාත‍්‍රාවකි. උරුමය නිරනුමානවම මානව පරිකල්පනාවේ අග‍්‍රඵලය වෙයි. එය ඕනෑම සමාජයක ශිෂ්ටසම්පන්න බව හා උසස් සාධන මට්ටමේ පිළිබිඹුවකි. උරුමය ශූන්‍ය අවකාශයක් පැවතිය නොහැක. එය නොයිඳුල් සංස්කෘතිය පටු සීමා පවුරු අතර නොරඳයි. සංස්කෘතිය, පරිසරය, දැනුම හා මතු පරපුර යන සංඝටක අවශ්‍යයෙන් ම අන්තර්ගත කර උරුමය ගැඹුරු ලෙස ප‍්‍රතිනිර්වචනය කිරීම අපගේ අභිප‍්‍රායයි. උරුමය යනු අප උපන් සංස්කෘතියේ අඩංගුව යැයි සරළ ලෙස අර්ථ දැක්වීම ප‍්‍රමාණවත් නොවේ. සංස්කෘතියේ අඩංගු වන්නේ ආහාර පුරුදු, කතාබහ, ඇඳුම් පැළඳුම්, ආගමික විශ්වාස ආදිය අවශ්‍යයෙන් ම හැදුණුවැඩුණු පරිසරය හා බද්ධව පවතී. අපගේ වර්තමාන සිතිවිලි හා හැසිරීම් හැඩ ගස්වන දැනුම අපට ප‍්‍රදානය කළ අපේ සංස්කෘතික යටගියාවට සම්බන්ධ සෑම දෙයක් ම පරිසරය හා අවියෝජනීය වේ. එම දැනුමේ සමස්තය “ශිෂ්ටාචාරය” යි. අප එය මතු පරපුරට ප‍්‍රදානය කරමු. අනාගතය උදෙසා අපගේ උරුමයේ වටිනාකම් ප‍්‍රදානය කිරීමේ වගකීම දරමු. එම නිසා උරුමය හුදකලාව විකාශනය වූවක් නොවේ. එය සමාන්කර සංස්කෘතීන් හා බෙදාහදා ගනිමින් අන්‍යෝන්‍යව පෝෂණය වූවකි. සමාජයක හැසිරීම, චින්තන රටාව හඳුනා ගැනීමට ඇති හොඳම මෙවලම උරුමය යි. ඒ තුළ එම සමාජවල අභිලාෂයන් හා මාර්ග රටාව සනිටුහන් ව ඇති බැවිනි. වෙනත් තාක්ෂණික සංස්කෘතික කණ්ඩායම් සමග කොතෙකුත් දේ බෙදාහදා ගත්ත ද ඒ ඒ ප‍්‍රජා කණ්ඩායම් වලට ඒවාටම අයත් (උරුමයේ) පිය සටහන් ඇත. මේ නිසා උත්තරාරෝපණය කරන ඊනියා ගෝලීය සංස්කෘතියතින් එම පිය සටහන් මකා දැමීමට නොහැක. ජීවමාන යථාර්ථය එයයි.

සම්භාවනීය ආසියාවක සමාදාන සහජීවනය
දකුණු ආසියානු සංස්කෘතීන් විකාශනය වී ඇත්තේ ආතතිය හා ප‍්‍රකම්පනය සමනය කරන හා ඒවායෙන් මිදෙන යාන්ත‍්‍රණයන් ඒ තුළට කා වද්දමිනි. අන්තර් ප‍්‍රජා සම්බන්ධතා පුනරූපණය කරන මුල්ම දෘෂ්ටාන්තයක් අග්ගඤ්ඤ සූත‍්‍රයේ දැක්වෙයි. ඒ අනුව මිනිස් සබඳතාවල දී පැනනගින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ප‍්‍රජා සම්මතයෙන් මහාසම්මත කෙනෙකු පත්කර ගනී. මහාසම්මත ගෙන් බලාපොරොත්තු වූයේ ධාර්මිකව සාමය හා සංහිදියාව පවත්වා ගෙන යාමයි. වඩාත් සංවිධිත රාජ්‍ය බිහිවීමෙන් පසු රාජ්‍යය අධිරාජ්‍ය දක්වා වර්ධනය වන විට බෞද්ධ මූලාශ‍්‍ර විශ්ව රාජ්‍ය සංකල්පය හෙවත් චක්කවත්ති රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කරයි. චක්කවත්තිසීහනාද සූත‍්‍රය හා මහාසුදස්සන සූත‍්‍රය දක්වන්නේ සකිවිති රජු නිරූපනය කරන්නේ ජනයාගේ ජීවන තත්ත්වය නැංවීමේ වගකීම දරණ සමස්ත පරිසරයටම වග කියන අයකු ලෙසටයි. දසරාජ ධර්මය අනුව සිය පාලන කටයුතු කිරීමට රජු එකඟතාව පළ කරයි. මේ නිසා වැසියා හා සමාජය පාලනයට කොටස් කාරයකු වෙයි. මෙය ප‍්‍රකට බෞද්ධ ගාථාවකට අනුව,

දෙවො වස්සතු කාලෙන – කලට වැසි වසීවා!

සස්ස සම්පත්ති හෙතු ච – කෙත්වතු සාර වේවා!

පීතො භවතු ලොකො ච – ලොව සසිරි වේවා!

රාජා භවතු ධම්මිකො – රජු දැහැමි වේවා!

සිද්ධාර්ථ ගෞතමයන් ප‍්‍රජා සම්බන්ධීකරණය සඳහා භික්ෂු, සංඝ හෝ ගණ යන නම් වලින් හඳුන්වන ලද පිරිසකගෙන් සමන්විත ආයතනයක් බිහිකිරීම ජනතා හිතකාමී ව්‍යාපෘතියක් විය. එහි දී කණ්ඩායම් ජීවිතයේ දී පැන නගින ගැටළු සමතයකට පත්කර ගැනීම සඳහා විනය මාලාවක් ද හඳුන්වා දෙන ලදි. බහුජන හිතසුව පිණිස කටයුතු කරන ලෙස ඔවුනට උපදෙස් දීම ප‍්‍රජා සබඳතාවල වැදගත්කම තීව‍්‍ර කරයි.

සමාජ ජීවිතයේ දී ගැටුම් අවම කර ගැනීම සඳහා පුද්ගලික මට්ටමින් පිළිපැදිය යුතු ආචාරධර්ම ඉදිරිපත් කරයි. පරපන නොනැසීම, නොදුන් දෙය නොගැනීම, අනාචාරයේ නොහැසිරීම, අසත්‍ය ප‍්‍රකාශයෙන් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරවීම යන පංචශීල ප‍්‍රතිපත්තිය හිතකර සමාජය වාතාවරණයකට අවැසි මූලික ආචාර ධර්ම වෙයි. සිඟාලෝවාද පරාභව, ධම්මික, මහාමංගල වැනි සූත‍්‍රවල පවුල, සමාජය, සේවකයන් හා වහලූන්, ගුරුවරුන්, පූජ්‍යයන් හා රාජ්‍යයට ද එකිනෙකාට යුතුකම් එකිනෙකාගේ අයිතිවාසිකම් සහිතව ආචාර ධර්ම ඉදිරිපත් කරයි. මහාපරිනිර්වාණ සූත‍්‍රයේ ඉදිරිපත් කරන සප්ත අපරිහානීය ධර්ම ආතතිය හා ප‍්‍රකම්පනය අවම කර ගනිමින් එකමුතුකමින් සමගි සම්පන්න බවින් යුතුව කටයුතු කිරීමට ඇති අගනා ම මාර්ගෝපදේශ වෙයි. වෛශාලියේ ලිච්ඡවීන් හට බුදුන් වහන්සේ අනුදැන වදාලේ, සමගිව රැස්වන්න, සමගිව නැගි සිටින්න, කාලිනව වැදගත් සම්ප‍්‍රදායයන් රකින්න, වැඩිහිටියනට ගරු කරන්න, කාන්තාවනට ගරුකරන්න යනුවෙනි. මේ කරුණු නොකඩවා පිළිපැදීම නිසා එක්සත්ව අභිවෘද්ධිය කරා යන බව පෙන්වා දී ඇත. මෙම ධර්මෝපදේශ ඇසුරින් විශේෂයෙන් බුදුදහමේ මඟපෙන්වීම අනුව අශෝක විසින් අශෝක දහම යැයි අද අප හඳුන්වන මාර්ගෝපදේශ සංග‍්‍රහය සකසන ලදි.

දකුණු ආසියා සහයෝගිතාවේ නූතන මුහුණුවර
පශ්චාද් යටත් විජිත පරපුර දකුණු ආසියානු සමාජය භාෂාව ආගම ජනවර්ගය පදනම් කර ගත් වෙන් වූ අනන්‍යතා සහිත ඒකක ලෙස හඳුනා ගැනීමට ප‍්‍රයත්න දැරීම අරුමයක් නොවේ. එය ඓතිහාසික ව විකාශනය වූ තත්ත්වයක් ය යන්න ඔවුන්ගේ විශ්වාසය යි. ඉතා පැහැදිලිවම මෙම යුගයේ ප‍්‍රමුඛ ලක්ෂණ වනුයේ ආර්ථික ස්වාධිකාරයෙන් යුතු වාර්ගික පදනමෙන් යුතු මානව සංස්කෘතික ඒකක ගොඩ නගා ගැනීමට දරන ව්‍යායාමය යි. බාහිරින් ගෝලීයකරන ක‍්‍රියාදාමය සිදුවෙද්දී අභ්‍යන්තරයේ සිදුවන්නේ ඊට ප‍්‍රතිවිරුද්ධ ව සමාජ පැසිස්ට්වාදය ක‍්‍රියාත්මක වෙමින් විකල්ප පාලන ක‍්‍රම සඳහා වෙන්ව යාම වෙත තල්ලූ වීමයි. මෙමගින් ඉතා පැහැදිලිව ඉඟි කරන්නේ නූතන ජාතිවාදී, ආගම්වාදී, භාෂාවාදී ප‍්‍රවණතා හුදකලා කිරීමට ගෝලීයකරනයට නොහැකි වී ඇති බවයි. මෙම සංදර්භය තුළ වටහා ගත යුතු දෙය නම් වෙනම අනන්‍යතා ගොඩ නැගීමට දරන ප‍්‍රයත්නයන් වෙනම සමාජ දේශපාලන බල ව්‍යාපෘති වන බවයි. මෙය දකුණු ආසියා සහයෝගිතාවෙ අද පවතින ඛේදනීය මුහුණුවරයි. දකුණු ආසියාවේ සංස්කෘතික භූ දර්ශනය තුළ අවශ්‍යයෙන්ම දිස්වන්නේ බහු සංස්කෘතික හා බහුවාර්ගික අනන්‍යතාවන් ය. නූතන ආසියාවේ වෙන්ව පෙනෙන මෙම ජනවර්ග භාෂා ආගම් හා ආගමික-සංස්කෘතික විවිධතාවල සාධාරණ සංස්කෘතික ලක්ෂණවලින් ආසියාවට ම සාධාරණ වූ සංස්කෘතික රටාවක් මතු කරගත හැක. වැදගත් ම ප‍්‍රශ්නය නම් අනෙකුත් සංස්කෘතීන්ට ගරු කිරීමට ඒවා පිලිගැනීමට අප කොතෙක් දුරට සූදානම් ද? යන්නයි. සංස්කෘතික අනන්‍යතා හා සංස්කෘතික විවිධත්ව සහිත ප‍්‍රජාවන් අතර පවතින සබඳතාවල යථා තත්ත්වය එසේ ය. මෙම සංස්කෘතික අවකාශයන් ගෝලීයකරණය තුළට සංකෝචනය කිරීමට නම් පවතින පටු මනෝභාවයන් කාලය, අවකාශය හා සංස්කෘතික විශේෂණයන් වශයෙන් විභජනය කර පුබ්බේනිවාසානුස්සතියෙන් බැලිය කළ යුතු ය. දකුණු ආසියාව සංස්කෘතික විවිධත්වයෙන් බහුසංස්කෘතික ලක්ෂණයන්ගෙන් උද්දීපනය වී ඇති ආකාරය දැකීමට නම් තනි රටක් තනි සංස්කෘතියක් යන මනෝභාවයෙන් ඉවත් වී නිවැරදි දිශාභිමුකව සිට ගත යුතු ය. කලාපාන්තරව දේශාන්තරව බෙදාහදා ගත් සංස්කෘතික දිගන්තයන් දිස්වන්නේ එවිට ය.

D.A. Rajapakse-Sri Lanka-Archaeology.lk.jpg
(http://rajapaksafoundation.org/ උපුටා ගන්නා ලදී)

II

මේ පූර්විකාව ශ‍්‍රී ලංකාවට සාක් සංවිධානය තුළ රඟදැක්වීමට ඇති භූමිකාවේ මූලික තේමාව මතු කර දැක්වීමට යි. ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගර නිම් වළල්ල තුළ රටවල් සම්බන්ධ කරන නාවික මධ්‍යස්ථානයක් ලෙස පිහිටා ඇත. නැගෙණහිර හා බටහිර ලෝකය පිහිටියේ ඊට බැහැරිනි. මෙම පිහිටීම නිසා උපායික වශයෙන් පුරාතනයේ ඊට ලැබුණු වැදගත්කම හා අනාගතයේ ලැබෙන වැදගත්කම ගැන අප අවබෝධ කරගත යුතු ය. විශේෂයෙන් කලාපයේ අපට වඩා දේශපාලනිකව හා ආර්ථික වශයෙන් පෙරමුණේ සිටින රටවල් සමග ගනුදෙනුවේ දී අපේ ශක්‍යතාව ගැන මෙන්ම සීමාකම් ගැන ද නිවැරදි තක්සේරුවක් තිබිය යුතු ය. සාක් සංවිධානයේ සභාපතිත්වය දරමින් ඊට නායකත්වය දීමට අපට ඇති උපාය මාර්ග උරුම සබඳතාව හරහා හඳුනා ගන්නේ කෙසේද?

ශ‍්‍රී ලංකාව අභිසරණ කේන්ද්‍රයක් ලෙස
අපගේ භූගෝලීය පිහිටීම අප වෙත ප‍්‍රදානය කරන විශේෂ වාසිය ශ‍්‍රී ලංකාව විවිධ දේශපාලන, සමාජ, ආර්ථික, හා ආගමික කණ්ඩායම් වලට අභිසරණ (ඒකරාශී)කේන්ද්‍රයක් වීමයිි. ඉතා ඈත අවධියේ සිටම එවැනි පිරිස් වෙත හා පුද්ගලයන් වෙත මේ දිවයින ක්ෂේම භූමියක් විය. එමගින් දිවයින අන්තරාලයක් (වෙළඳ හුවමාරු පලක්) විය. ක‍්‍රිස්තුපූර්ව 4 වන සියවසේ සිට ම ඉන්දියානු සාගරයේ සංස්කෘතික හා ආර්ථික මර්මස්ථානය විය. ඉන්දියන් සාගර නිම් වළල්ල තුළ අපගේ ඓතිහාසික කාර්යභාරය පුනර්ජීවනය කරන්නේ කෙසේද? මෙහි දී ආසියාන් සංවිධානය තුළ සිංගප්පූරුවේ අත්දැකීම් සැලකිල්ලට ගනිමු. සිංගප්පූරුව “ආසියා මැද පෙරදිග සංවාදය” සඳහා පහසුකම් සපයන්නාගේ කාර්යය භාර ගෙන නොබෝ කලකින් ම එම කාර්යභාරය තුළ මර්මස්ථානයක් බවට පත් විය. ශ‍්‍රී ලකාවට ඉන්දියන් සාගර නිම් වළල්ල තුළ සමාන වගකීමක් දැරිය නොහැකි ද? උගතුන් හා වෘත්තීය ව නිපුණ අය ලෙස අපි අපේ දායකත්වය දෙමින් මෙම කලාපයේ උරුම කළමනාකරණයට ඵලදායී ලෙස හා මධ්‍යස්ථ ලෙස අපට මැදිහත් විය හැකි බව පෙන්වා දී ඇත්තෙමු. මෙම කාර්යභාරය සඳහා කලාපයේ අනෙකුත් රටවලට යම් යම් බාධා ඇත. සාක් කලාපය තුළ වෙනත් සංවිධානවල කාර්යභාරයන් සඳහා ද මෙමගින් පහසුකම් සැපයිය හැක. අපගේ විශ්වාසය හා හොඳ නම අසල් වැසියන් අතර රැක ගෙන IOR රටවල් සම්බන්ධීකරණය කරන ස්වාධීන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමට අප නැඹුරු විය යුතු ය. මෙය විදේශ අමාත්‍යාංශයේ න්‍යාය පත‍්‍රයේ ඉහළට ම ගෙන ක‍්‍රියාත්මක කළ යුතු ය. නුදුරු අනාගතයේ දී යුද්ධයේ නිමාවත් සමග ම මේ සඳහා අවැසි යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය කළ යුතු ය. ශ‍්‍රී ලංකාව ස්වාධින හා අපක්ෂපාතී මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තුළ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් කිරීම, වරාය පහසුකම් වර්ධනය කිරීම, නැව් තැනීම හා අලූත්වැඩියා කිරීම, ගුවන් හුවමාරු පහසුකම් වර්ධනය කිරීම සම්මන්ත‍්‍රණ හා සමුළු පහසුකම් සැපයීම වැනි ක‍්‍රියාමාර්ග වෙත යොමු විය හැක. ඊට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් හා විනෝදාස්වාදය සැපයීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් වීමට අපට ඇති ශක්තිය ඉහල ය. ගාල්ලේ පැවැත්වෙන සාහිත්‍ය හා සංස්කෘතික උත්සව මෙවැනි කාර්යයන්ට අපට අතගැසිය හැකි බව පෙන්වන සුළු නිදර්ශනයකි. මෙවැනි උත්සව වඩාත් සංවිධානාත්මකව පුළුල් ලෙස කළ හැක.

උරුම සබඳතාව තෙවන මානයක් ලෙසින්
අභිසරණ කේන්ද්‍රයක් ලෙස සංවර්ධනයේ දී ඉහත ක‍්‍රියාවලිය හා බද්ධ වෙමින් ඵල ප‍්‍රයෝජන ගත හැකි අපට ඇති වඩාත් ම ධනාත්මක සාධකය නම් සාක්‍ හා IOR රටවල් බද්ධ කළ හැකි අපගේ බහු සංස්කෘතික අනන්‍යතාවයි. අප සතුව පහත සඳහන් වාසිදායක තත්තවයන් ඇත.

  • පොදු සංස්කෘතියක්
  • සංස්කෘතික විවිධත්වය
  • බහු සංස්කෘතික ලක්ෂණ
  • සංස්කෘතික අනන්‍ය ලක්ෂණ

බෞද්ධ, හින්දු, ඉස්ලාමිකල ක‍්‍රිස්තියානි වැනි ආගමික සංස්කෘතීන් ගණනාවක සම්මිශ‍්‍රණයකින් සැකසුණ ප‍්‍රජාවක් මෙරට වෙසෙති. ඉන්දියාව හැරුණ විට මෙවැනි වාසියක් කලාපය තුළ ඇත්තේ අපට පමණි. බුදුදහම ඔස්සේ කලාපයේ අන් රටවල් සමග ශක්තිමත් සබඳතා ගොඩ නැගී තිබිණ. දඹදිව වන්දනා ගමන්, මහාබෝධි සමාගම, බෞද්ධ පරම විඥානාර්ථ සමාගමල,අම්බෙට්කර් සමාගම මේ සෑම එකකින් ම නිරූපණය කරන්නේ සහසම්බන්ධය යි. එමෙන් ම බංගල්දේශ්හි බෞද්ධයන් පකිස්ථානයේ ගන්ධාර බෞද්ධ ස්ථාන ඉතා ඉක්මණින් මෙම සහසම්බන්ධතා මාර්ග සිතියම හා එක්වනු ඇත. රාමායනය හා බැඳුණු ශ‍්‍රී ලංකාවේ ස්ථාන, කෝනේශ්වරම, තිරුකිතේශ්වරම්, මුන්නේශ්වරම්, කතරගම හා ශ‍්‍රී පාදය සහසම්බන්ධතා සඳහා ඉතා යොදාගත හැකි ඉතා වැදගත් බහු සංස්කෘතික ස්ථාන වෙයි. බෞද්ධ-හින්දු, ක‍්‍රිස්තියානි-ඉස්ලාමික වශයෙන් අපේ උරුමයන් හඳුන්වා දීමට දරන උත්සාහය නිසා අනෙක් සාක්‍ හා IOR රටවල් හා එම ජනයා සමග සබඳතා වර්ධනය කරගත හැක. ගරු ජනාධිපතිතුමන්ගේ යොමු කිරීම මත කතරගම බහු සංස්කෘතික කෞතුකාගාරයක් ඉදි කිරීමට අපට හැකි විය. එමෙන්ම නැගෙනහිර ඇති සෑම ආගමික උරුම ස්ථානයක් ම හඳුනා ගෙන ලැයිස්තු ගත කිරීමට රජය උපදෙස් දී ඇත. කෝනේශ්වරම, තිරුකිතේශ්වරම්, මුන්නේශ්වරම් හා කතරගම පාද යාත‍්‍රා මග යුනෙස්කෝව ලවා ලෝක උරුම ලෙස ප‍්‍රකාශයට පත්කර ගැනීම ජනාධිපතිතුමන්ගේ අභිප‍්‍රාය යි. එසේ කිරීම මගින් ගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස බහුවිධතාව පිලිගැනීමෙන් හොඳහිත වර්ධනය වීමක් සිදු වනු ඇත. දකුණු ආසියාවේ උරුම කළමනාකරුවන් අපේ ලෝක උරුම ස්ථාන වල දී පුහුණු කිරීම හා සංස්කෘතික බෙදාහදා ගැනීම් සඳහා අවබෝධතා වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම මෑත කාලයේ අපි සාර්ථක ලෙස අත්හදා බලා ඇත්තෙමු. මෙමගින් ප‍්‍රජා සබඳතා ගොඩ නගාගැනීම මෙන් ම තොරතුරු හුවමාරු කර ගැනීම, සම්පත් හා දැනුම හුවමාරු කර ගැනීම, සංවර්ධනය හා බුද්ධිමය අවබෝධය සඳහා සම්පත් පුද්ගලයන් පුහුණු කිරීම කළ හැකි විය. කොළඹ දී පැවැත් වුණු 2007 සාක් සංස්කෘතික අමාත්‍ය රැස්වීමේ දී, සාක් උරුම මධ්‍යස්ථානයක් සඳහා පහත යෝජනාව අපි ඉදිරිපත් කළෙමු. “අතීතයෙන් අපට දායාද කර ඇති මෙම ප්‍රෞඪ සංස්කෘතික උරුමයන් රැක ගැනීමේ වගකීම කලාපයට ඇත. එය කලාපාන්තර සංස්කෘතික සබඳතා ජීවමාන කරන, සාක් රටවල ආත්මීය තිරසාර ලක්ෂණ රැකෙන, සම්ප‍්‍රදාය හා නවීනත්වය මුසුවන ලෙස කළ යුතු ය. කලාවන් හා ශිල්ප එකලස් කිරීම මගින් දකුණු ආසියාවේ සංස්කෘතිය හා එක් එක් රටවල සම්ප‍්‍රදායන්ගේ හා එම රටවල ප‍්‍රදේශීය ආවේණික සම්ප‍්‍රදායන්ගේ පිළිබිඹුවක් ගත හැක. අන්තර් ප‍්‍රජා උරුම හුවමාරුව හා පාරිසරික අවබෝධතාව මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අංශ දෙකක් වෙයි. පිරිහෙමින් පවතින ප‍්‍රාදේශිය කලාශිල්ප අන්තර් සම්බන්ධිකරණය ඔස්සේ නගා සිටුවීම හා දේශීය කලා ශිල්ප පුනර්ජීවනය තවත් ධනාත්මක ප‍්‍රතිලාභයකි. අපගේ රටවල් සෑම එකකම දේශීය කලාශිල්ප ගෝලීයකරණ ක‍්‍රියාදාමය ඔස්සේ පිරිහෙමින් පවතී. මෙවැනි මධ්‍යස්ථානයක් මගින් එවැනි කලාශිල්ප පුනර්ජීවනය ලබනවා පමණක් නොව සංරක්ෂණය සඳහා ද පියවර ගත හැක (ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමයන් සංරක්ෂණය කිරීමේ යුනෙස්කෝ ප‍්‍රඥප්තිය 1972 හා නස්පර්ශිත උරුමයන් සංරක්ෂණය කිරීමේ යුනෙස්කෝ ප‍්‍රඥප්තිය 2003). මෙම මධ්‍යස්ථානය දැනුවත් කිරීම හා ශක්‍යතාව පවත්වා ගෙන යාම යන කාරණා දෙක සඳහාම පවත්වා ගෙන යා හැක. නරඹන්නන්, අධ්‍යයනය කරන්නන්, ආධුනිකයන් ලෙස මෙහි පැමිණෙන සාක් රටවල තරුණතරුණියන් ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. විවිධ ජනවර්ග භාෂා කණ්ඩායම් ආගම් සංස්කෘතික කණ්ඩායම් වලට අයත් තරුණ කොටස් එකිනෙකාගේ වෙනස්කම් වලට ඇවතුම්පැවතුම් වලට ගරුකිරීමට ලබන පුහුණුව නිසා සාක් නායකත්වයේ ඊ ළඟ පරපුර සාක් ආත්මීය ලක්ෂණ තිරසාර ලෙස වැළඳගත් අය වනු ඇත. සංස්කෘතික දැනුම ව්‍යාප්ති මධ්‍යස්ථානයක් වශයෙන් මෙහි ඵලදායීම ලක්ෂණය එයයි.”

ත‍්‍රස්තවාදය පිටු දැකීම
දශක දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලංකාවටත් කලාපයත් තර්ජනයක්ව පැවැති ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සමත් විම මගින් ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ හැකියාව තහවුරු කර ඇත. දේශපාලන විසඳුමකට එකඟවීමට එල්ටීටීඊයට රජය අවස්ථාවක් ලබා දුන්නේ ය. එය රජයට ගර්වයකි. පසුගිය දශක තුනක කාලය තුළ එල්ටීටීඊයේ ක‍්‍රියාකාරකම් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන්නේ එය දකුණු ආසියාවට ආවේණික ඒකාධිපතිවාදයක් ක‍්‍රියාත්මක කළ බවයි. එය පොල්පොට්ගේ අඥාදායකත්වයට වඩා වෙනස් වඩාත් සංකීර්ණ ලෙස සමාජ පැසිස්ට්වාදයට ක‍්‍රීයාත්මක කළේ ය. එය භින්නමතික ව්‍යාපාරයක ක‍්‍රියාකාරිත්වයකට නිදර්ශනයකි. එය නව දේශපාලන මුහුණුවරකි. මෙහි වඩාත් ම බිහිසුණු සාධකය නැක්සලයිට්-එල්ටීටීඊ මුසුවයි. එය ඉන්දියාවේ ඇසෑමයේ සිට අන්ද්‍රා ප‍්‍රදේශ් දක්වා ව්‍යාප්තව ඇත. මේ නිසා ශ‍්‍රී ලංකාව සමග සාමූහික ක‍්‍රීයාමාර්ගයකට යාම ඉන්දියාව දැඩි සැලකිල්ලට ගත යුතු කාරණයකි. මීට වසර කීපයකට පෙර පැවැති තත්ත්වය ගැන සිතන විට ශ‍්‍රී ලංකා හමුදාව දැන් අදහාගත නොහැකි තරම් වික‍්‍රමාන්විත ලෙස එල්ටීටීඊය පසු බස්වමින් සිටියි. ශ‍්‍රී ලංකා හමුදාවේ යුද ක‍්‍රමෝපායයන් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා නව සංග‍්‍රාමෝපක‍්‍රම යුද ඉතිහාසයට එක් කරයි. එ මතු ද නොව ඉතා අවදානම් තත්ත්ව යටතේ වුව ද ශ‍්‍රී ලංකා ජනාධිපති තුමා ත‍්‍රස්තවාදය පරාජය වූ නැගෙණහිර පළාතේ මැතිවරණ පවත්වා බහුජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා තමාගේ ඇති කැප වීම (බටහිර සංශයවාදීන්ට ද) පෙන්නුම් කළේ ය. මෙම පළාත් සභාවේ මහ ඇමති ත‍්‍රස්තවාදය අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාසයට පිළිපන් අයෙකි. ත‍්‍රස්තවාදයට එරෙහි මෙම ද්විත්ව කි‍්‍රයා මාර්ගය සෙසු සාක් රටවලට ද පූර්වාදර්ශයක් සපයයි.

නිගමනය
මෙම කරුණු සංක්ෂේප කර සුභවාදීව බලන විට මට වැටහෙන්නේ ප‍්‍රාදේශීයවාදය නමැති අන්ධකාර ආගාධයෙන් මිදී සහසම්බන්ධතා යුක්ත සංස්කෘතික හුවමාරු ඇති ක්ෂේම භූමි වෙත පිවිසීමට අපේ කලාපයේ ජනතාවට නැණ නුවණ ඇති බවයි. සීමා නොමැති සාක් ලේඛක හා සාහිත්‍ය පදනම (Foundation of SAARC Writers and Literature) මේ සූභවාදී බලාපොරෝත්තුව තුළ අප රඳවයි. ශ‍්‍රී ලංකාවේ නාලන්ද ව්‍යාපෘතිය බහු සංස්කෘතික ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීම මෙවැනි බෙදා-හදා ගත් උරුමයන් මතු කිරීමේ ව්‍යායාමයේ සමීප උදාහරණයකි. පකිස්ථානයේ අගා ඛාන් පදනම (agha Khan Foundation) බෞද්ධ උරුමයන් ඔස්සේ සහ-සබඳතා ගොඩ නගා ගැනීමට ප‍්‍රයත්න දරයි. නේපාලයේ ලූම්බිණි ව්‍යාපෘතිය ද අන්තර් සංස්කෘතික ප‍්‍රජා සබඳතා සඳහා උපයෝගී කර ගත හැකි ය. සංස්කෘතික සබඳතා ඔස්සේ ගොඩ නගන පොදු සභ්‍යත්වයක හස්තය ප‍්‍රධාන දේශපාලන ධාරාවේ පර්යන්ත ගතකර ඇති අය වෙත දිගු කර ඔවුන් ශක්තිමත් කළ යුතු ය. මේ සියලූ ප‍්‍රයත්නයන් ඒ සඳහා සංවාදයක් ගොඩ නැගීමටයි. දකුණු ආසියානුවන් වශයෙන් අපට පොදු සංස්කෘතියක කොටස්කරුවන් වීමට කාලය හා අවකාශය මගින් මං පෙත් ගණනාවක් ම විවෘත කර ඇත. ස්වභාවික පිහිටි මං පෙත් පමණක් නොව මෙම කලාපයේ බිහි වූ ඉතා අගනා සමාජ දර්ශනයන් ගණනාවක් ම ඒ සඳහා මං පෙත් සකසා දී ඇත. දේශීයව ගොඩ නගා ගත් සමාජ අගයයන් මෙන් ම බෙදාහදා ගත් අගයයන් ඇත. එහෙත් ඒවා මැකී යමින් පවතීග සාමය පණිවුඩයක් ලෙස පමණක් නොව ප‍්‍රායෝගිකව මේ කලාපයේ ම ඉපදී වසර දහස් ගණනක් හැදී වැඩුණ ජීවන දහමක් බව චිත‍්‍ර මූර්ති කැටයම් හා සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. මෙම ආත්මීය හා සංස්කෘතික බැඳීම ඉතා ඉහල මට්ටමක පැවතිණ. අන්‍යෝන්‍ය පැවැත්මට ඉවහල් වූ බෙදාහදා ගත් සංස්කෘතික උරුමයක ආශ්වාදය විඳින අතර ම දකුණු ආසියාව තුළ ශ‍්‍රී ලංකාවේ කාර්යභාරය යළි සළකා බැලීමට මෙය ප‍්‍රවේශයක් වේවා! රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ”දිව්‍යමය නිදහස” කාව්‍යයෙන් මගේ දෙසුම නිමා කරන්නට අවසර.

බියෙන් තොරව හිස කෙලින් තබා ගෙන සිටිනට හැකි
ඥානය නිවහල් වූ
පටු පවුරු වළලූ වලින් නොබෙදුන
සැබෑ වදන් පමණක් සවණට එන
සරතස නැති අත් වෙර ලා දුනු ඇද සාර දෙය ම නෙලන
නිසරු දේ නම් මරු කතර වැද පෑදි දිය දහර නොසිඳෙන
දිගු දැක්මකින් අනාගතය වෙත යන
නිදහස් ස්වර්ග රාජ්‍යයකට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි!

(2008 නොවැම්බර් 27 දින කොළඹ දී පවත්වන ලද ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ දේශනය)

ඉතිහාසය සහ පුරාවිද්‍යාව අතර ක්ෂිතිජයක් : මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය දායකත්වය පිළිබඳ ඇගැයිමක්

රාජ් සෝමදේව

මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ.

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ දශක තුනක් ඉක්මවන ශාස්ත‍්‍රීය සේවය ඇගැයීමට ලක්වන මෙම අවස්ථාවට සහභාගි වීමටත් මෙහි රැස්ව සිටින ගෞරවනීය සභාව ඇමතීමටත් මට ආරාධනා කිරීම පිළිබඳව මම මෙම උත්සවයේ සංවිධායකයින්ට පළමුව මගේ කෘතඥතාව පළ කරමි. මෙම සභාව අමතා මහාචාර්ය සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය කටයුතු ඇගැයීමට ලක්වන ආකාරයේ මාතෘකාවක් පිළිබඳව අදහස් දැක්වීමේ වගකීම මා වෙත පැවරීමෙන් ඔබ සියලු දෙනා විසින් මා වෙත මහත් ගෞරවයක් දක්වා තිබේ.

දැනුම ගොඩ නැගීම සහ දැනුම පතල කිරීම සිය ජීවිතයේ කොටසක් කර ගත් ප‍්‍රගල්භ විද්වතෙකුගේ සමාජ දායකත්වය ඇගැයීමකට ලක් කිරීම අතිශය විචක්ෂණ බවකින් කළ යුත්තකි. විශේෂයෙන්ම මහාචාර්ය සෙනෙවිරත්න වැනි ශාස්ත‍්‍රීය පසුබිමක වර්ධනය වු පෞරුෂයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී මෙය වඩාත් අදාල වේ යැයි මම සිතමි. මෙහි දී මගේ අවධානය යොමු වන්නේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ ඥානවිභාගාත්මක වර්ධනයට ඔහුගෙන් සිදු වු දායකත්වය දෙස මඳක් විපරමින් බැලීමටය. ඉහල උන්තාංශ දැක්මකින් අවලෝකනය කරන විට යමෙකුට පැහැදිලි විය හැකි ප‍්‍රධාන ම කරුණ වන්නේ මහාචාර්ය සෙනෙවිරත්න ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී පුරාවිද්‍යාඥයින්ගේ පරම්පරාවේ නව ගම්‍යතාවක් ජනනය කිරිමට අවශ්‍ය කරන පසුබිම සකස් කළ විසිවන සියවසේ අවසන් දශකවලට අයත් පුරෝගාමී ඓතිහාසික සමාජවිද්‍යාඥයින්ගේ ෂෝනරයට අයත් වූවෙකු බවය. එහි දී ඔහුගේ ස්වඅනන්‍යතාව පිළිබිඹු වන්නේ ඔහුගේ ශාස්ත‍්‍රීය පෞරුෂය මඟින් විමෝචනය කරන ත‍්‍රිමාන පර්යාවලෝකනය හේතු කොට ගෙන යැයි මම සිතමි. මෙකී ත‍්‍රිමාන පර්යාවලෝකනය නම්, 1. ඉතිහාසඥයෙකු ලෙස ඔහුගේ ආත්මීය පුහුණුව සහ දෘෂ්ටිය, 2. පුරාවිද්‍යාව තුළ ඔහුගේ පෞරුෂය සහ 3. සමාජ විද්‍යාඥයෙකු ලෙස ඔහුගේ භාවිතය යන තෙකරුණයි. වඩාත් පුළුල් විග‍්‍රහයක දී ඉතිහාසය සහ පුරාවිද්‍යාව සමාජ විද්‍යාවේම පර්යන්තයන් ලෙස පිළිගැනුන ද මා මෙහි දී ඒවා කේවල ශික්ෂණය ලෙස සමාජ විද්‍යාවෙන් හුදකලා කරන්නේ එකී විෂයයන්ට ආවේණික වු විධි ක‍්‍රමය හා තර්කණය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරිමෙනි.

මහාචාර්ය සෙනෙවිරත්න ශාස්ත‍්‍රීය ලෝකයට අවතීර්ණ වන්නේ ඉතිහාසඥයකු ලෙසය. 1978 වසරේ දී ඔහු පල කළ මෞර්ය රාජ්‍යය (The Mauryan State) නම් වූ ලිපිය ඉතිහාසඥයෙකු ලෙස අතීතය ප‍්‍රශ්න කිරිමට ඔහු තුළ තිබෙන ප‍්‍රවේණිය පැහැදිලි කරන එක් පැහැදිලි නිදසුනකි. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයෙන් ආරම්භ කොට සංගම් යුගයට අයත් තෝල්කාප්පියම් කෘතිය දක්වා වු පුළුල් කාල-අවකාශීය සන්දර්භයකට වැද තම උපන්‍යාසය වලංගු කිරීමට එහිදී ඔහු සාහිත්‍යමය අන්වේෂණයක යෙදෙන ආකාරය නිසර්ග ඉතිහාසඥයෙකු රුව අප ඉදිරියට ගෙනෙනු ලැබෙයි. 1985 වසරේ දී ජේම්ස් රත්නම් උපහාර කලාපයට ඔහු ලියූ ශ‍්‍රී ලංකාවේ බරත වංශිකයින් පිළිබඳ ලිපිය ඔහුගේ ආකල්පමය ස්වතතන්ත‍්‍රතාව දීප්තිමත් ලෙස සටහන් කරන්නක් බව මගේ හැඟීමයි. එම ලිපියේ දී කර්තෘවරයා වෑයම් කරන්නේ ක‍්‍රිස්තු පූර්ව පළමුවන සහස්‍රක වර්ෂයේ අවසන් භාගයේ දී මෙරට ජනසංයුතියේ ඇතිවන ගම්‍යතාවක් පැහැදිලි කිරිමටය. විශේෂයෙන්ම අසල්වාසී දකුණු ඉන්දියාව මූල් ඓතිහාසික යුගයේදී මෙරට ජන සංයුතියේ සංරචනයට දායකවන අන්දම පිළිබඳ මූලික මතයක් ගොඩනගන්නට ඔහු එහිදී වෑයම් කරයි. මෙය වූ කලී සාර්ව භුගෝල විද්‍යාත්මක ප‍්‍රවේශය හෙවත් (Phylogeographic approach) නමින් හැඳින්වෙන න්‍යායාත්මක ප‍්‍රවේශයයි. මගේ දැක්මේ හැටියට ඇත්ත වශයෙන්ම එය එම ලිපිය රචනා කළ අවධියට සාපේක්ෂව කිරා මැන බලන්නේ නම් එම ලිපිය රචනා කිරීමම ශාස්ත‍්‍රීය ලෙස උඩු ගං බලා පිහිිනීමට ඔහු ගත් උත්සාහයයකි. වාර්ගික පාරිශූද්ධතාව පිළිබඳ අදහස් මාලාවක් සම්ප‍්‍රදායික වෘත්තාන්ත ඉතිහාසය මඟින් ප‍්‍රචලිත කොට උතුරු ඉන්දීය ප‍්‍රභවයක් හඟවන ජනසම්මිශ‍්‍රණයක් රටේ පොදු ඉතිහාසය තුළ වලංගු කොට දකුණු ඉන්දියාව දෙස පසමිතුරුව බලන්නට පුරුදු වී සිටි අවධියක දකුණු ඉන්දීය ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය මෙරට සංස්කෘතියේ ඓතිහාසික වර්ධනයට දැක් වූ දායකත්වය ශාස්ත‍්‍රීය ලෙස විමර්ශනය කොට පැහැදිලි කිරීමට මහාචාර්ය සෙනෙවිරත්න විසින් ගත් උත්සාහය විද්වතෙකුගෙන් සමාජයක් බලාපොරොත්තු වන ඥානමූලික අදීනතාව පිළිබඳ ප‍්‍රකාශනයක් ලෙස මම දකිමි. භෞතික වශයෙන් සමීප සංස්කෘතීන් අතර විය හැකි සංස්කෘතික සත්තාවන්ගේ විසරණය පිළිබඳ ඓතිහාසික යථාර්ථය එහිදී ඔහු විවරණය කළේය. 1994 වසරේදී ඔහු විසින් ප‍්‍රකාශයට පත් කළ ශ‍්‍රී ලංකාවේ මහාශිලා සම්ප‍්‍රදායට අයත් සුසාන භූමි සහ කාලරක්ත වර්ණ වළං සහිත ස්ථාන පිළිබඳ ලිපිය අසල්වාසී සංස්කෘතීන් අතර හට ගන්නා ප‍්‍රතික‍්‍රියාවන් තේරුම් කිරිමට ඔහු පුරාවිද්‍යාත්මක අන්තරීක්ෂයකට ප‍්‍රවේශ වන ආකාරය අප වෙත පෙන්වා දෙයි. interpretative understanding හෙවත් අර්ථනිරූපනාත්මක අවබෝධය ජනනය කිරීමේ න්‍යායික තලයක වර්ධනය වන මෙකී ඥාන ව්‍යාපාරය තුළ ජර්මානු දාර්ශනික ආනුභාවේ රිද්මය ඉස්මතු වන්නට යත්න දරන මුත් මහාචාර්ය සෙනෙවිරත්න සිය ශාස්ත‍්‍රීය ආධ්‍යත්මය තුළට ආවේශ කර ගත් මාර්ක්ස්වාදී ආවේගයක් ඒ සියල්ල ඉක්මවා පැන නැගී ස්ථාවර වන බව මගේ අදහසයි.

මෙරට මුල්කාලීන සමාජ පරිණාමය සම්බන්ධයෙන් 1980 දශකය වන විට දේශීය පුරාවිද්‍යා පර්යේෂණ ක‍්‍රියාදාමයේ මුදුන්පත්ව පැවති එමෙන්ම එහි යටිතලය පුරා විහිදී පැවති ප‍්‍රධාන න්‍යායික ධාරණා තුනක් වී යැයි මම අනුමාන කරමි. ඉන් පළමුවැන්න මෙරට සංස්කෘතික පරිණාමයට උතුරු ඉන්දීය ප‍්‍රභවයක් හෝ එසේ නොවේ නම් ඊට එහි සෘජු ආනුභාවක් තිබේය යන අදහසයි. ආර්යාගමනය හෝ ආර්ය ජනාවාස පිහිටුවීම යනුවෙන් සාරාංශ කොට දැක්වෙන්නේ මෙම කල්පනාවයි. දහනමවන සියවසේ අවසන් භාගයේ සිට වර්ධනය වන මෙම න්‍යායික අදහස 1980 දශකය වන තෙක්ම මෙරට ඓතිහාසික සමාජ විද්‍යාව සම්බන්ධයෙන් අධිපතිවාදී ස්ථාවරයක් දැරීය. මෙරට ප‍්‍රථම දේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අනභියෝගී විශිෂ්ට පර්යේෂණ කටයුතු ඇතුළුව අන් ස්වදේශීය විද්වතුන්ගේ අසමසම පර්යේෂණ කටයුතු මඟින් එළි දක්වන ලද දැනුමේ වැඩි අවකාශයක් සංකේන්ද්‍රණය වුයේ මෙම න්‍යායය පසුබිම් කොට ගෙනය. එක් අතකින් එය ලෝක පුරාවිද්‍යාවේ සංවර්ධන ක‍්‍රියාදාමයට අයත් සංස්කෘතික විස්තීරණය නම් වු න්‍යායික මාදිලියට අයත් බුද්ධිමය ප‍්‍රවේශයකි. සංස්කෘතියක ප‍්‍රභවය තවත් මහා සංස්කෘතියක ලක්ෂණ අවකාශය හරහා විසරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අර්ථවිග‍්‍රහ කිරීම මෙහිදී සිදු වෙයි. මෙහි මවිසින් සඳහන් කරන්නට යෙදුනු දෙවන න්‍යායික ධාරණාව මඟින් පැහැදිලි කරන්නේ මෙරට සංස්කෘතියේ වර්ධනය අභ්‍යන්තර ගතිකතාවක උත්සන්න ප‍්‍රතිඵලයක් බවයි. ඓතිහාසික විශිෂ්ටතාවලට පසුබලය සපයන දේශිය ලක්ෂණත් ඒවා සමඟ සමාන්තරගත වන බහිර්ජන්‍ය සාධක පිළිබඳවත් මෙම න්‍යායික මාදිලිය තුළ කතිකාවක් ගොඩ නැගේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාව තුළ ව්‍යුහවාදී-මාර්ක්ස්වාදී මඟක් ගත් මහාචාර්ය සේනක බණ්ඩාරනායක සහ කලා ඉතිහාසය තුළ මහාචාර්ය සිරි ගුනසිංහ වැනි විද්වතුන් මෙම සංකල්පීය ෂෝනරයට අයත් යැයි මම සිතමි. මේ සම්බන්ධයෙන් වන තෙවන න්‍යායික ධාරණාව මෙරට ඉතිහාසයේ මුල් යුගයේ සමාජ සංවිධානය සහ ආයතන සම්බන්ධයෙන් දකුණු ඉන්දීය අර්ධද්වීපයේ සම්බන්ධතාව සහ දායකත්වය සාකච්ඡාවට ලක් කරයි. මෙම න්‍යායික මාදිලිය මෙරට පුරාවිද්‍යාව තුළ වර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලබන්නේ මහාචාර්ය සෙනෙවිරත්නයි. සමස්තයක් වශයෙන් ගත් විට මේ න්‍යායික මාදිලි තුනකම ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ තේමාව ඔපමට්ටම් කිරිම සඳහා එකිනෙකට වෙනස් පරිමාණවලින් දායක වී ඇති බව අප විසින් පිළිගත යුතු යැයි මම කල්පනා කරමි.

Sudharshan Senevirathne-Archaeology-Sri Lanka (3)
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය ලිපිලේඛනවල ස්වර්ණමය අවධිය ලෙස සැලකිය හැකි 80 දශකය තුළ පල වූ සියලුම ශාස්ත‍්‍රීය ලිපි ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ ක්ෂෙත‍්‍රය තුළ ඉතිහාසයත් පුරාවිද්‍යාවත් අතර ක්ෂිතිජයක් නිර්මාණය කරනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. තවමත් මෙරටේ ඉතිහාසයත් පුරාවිද්‍යාවත් අතර පවතින අතර්කානුකූල ඥාතිත්වය තර්කානුකූල සංවාදයක් බවට පරිවර්තනය කිරිමට ඔහුගෙන් සිදු වූ සේවය ප‍්‍රසංශනීයය. ඉයන් හොඩර් විසින් එක් අවස්ථාවක පල කළ අදහසක් උපුටා දැක්වීමට මම මෙහිදී ඔබ සියලු දෙනාගෙන් අවසරය පතමි. පුරාවිද්‍යා තුළ තිබෙන විමතිය දනවන ප‍්‍රවේශයන් කිසිවකට ද්‍රව්‍යමය සංස්කෘතියේ ප‍්‍රවේණිය හෝ විශේෂතා විස්තර කළ නොහැකිය. එහෙයින් පුරාවිද්‍යාවේ සංස්ලේෂී සහ ව්‍යුහවාදී ප‍්‍රවේශයන්ට ඓතිහාසික මානයක් ඇතුළු කිරිම අවශ්‍යය. ඉතිහාසය යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ කොලින්වුඞ්ගේ පැහැදිලි කිරීම අනුව ඉතිහාසයේ අභ්‍යන්තරයයි. Long term history හෙවත් දිගුකාලීන ඉතිහාසයට දායක වීමට නියත වශයෙන්ම පුරාවිද්‍යාව හැකියාවක් තිබේ. දිගුකාලීන ඉතිහාසය අතිතයත් වර්තමානයත් අතර පවත්නා සබඳතා පිළිබඳව නොයෙකුත් ප‍්‍රශ්න නගන බව සැබෑවකි. නමුත් එමගින් නව පර්යාවලොක්නයක් ගොඩ නගයි. නිදසුනක් ලෙස ද්‍රව්‍යමය වස්තු සහ අදහස් අතර පවතින අන්තර් සබඳතාව, දීර්ඝකාලීනව පැවති සමාජ ව්‍යුහයන් සමාජ පද්ධතීන්ට කේන්ද්‍රික ද නැතහොත් ඒවා පරිධියේ ස්ථානගත වූ ඒවාද යනාදී ප‍්‍රශ්නයි. හොඩර්ගේ මෙම විස්තරය මහාචාර්ය සෙනෙවිරත්න ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාව තුළ ඉටු කළ ශාස්ත‍්‍රීය මෙහෙය ඇගැයීමට අවශ්‍ය කරන කවුළුවක් සකස් කරයි. ඇත්ත වශයෙන්ම මහාචාර්ය සෙනෙවිරත්න මෙරට ශාස්ත‍්‍රාලය තුළ පෙනී සිටින්නේ නූතන පුරාවිද්‍යාත්මක පදනමක පිහිටා ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට ඓතිහාසික මානය නිසි අයුරින් හඳුන්වා දුන් විද්වතෙකු ලෙස යැයි මම විශ්වාස කරමි.

මහාචාර්ය සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය මෙහෙයට අයත් තෙවන පර්යාවලෝකනය පෙන්නුම් කරන්නේ ඔහු සමාජ විද්‍යාඥයෙකු ලෙස පෙනී සිටිමෙනි. විශේෂයෙන්ම 1990 දශකයේ මැද භාගයෙන් පසු ඔහු විසින් රචනා කරන ලිපි බොහෝමයක පශ්චාත් නූතනවාදී දෝංකාරයක් ඇතැයි මම කල්පනා කරමි. Tradition, dissent and ideology නම් වු කෘතියට මහාචාර්ය සෙනෙවිරත්න විසින් රචනා කරන Peripheral Regions and Marginal Communities නම් ලිපිය මගේ සිහියට නගන්නේ ජැක් ඩැරිඩා විසින් රචිත පහත සඳහන් අදහසයි. All we have in history is a series of constructed texts commenting on constructed texts commenting on constructed texts, in a seemingly endless circle of constructed meanings which cannot be directly assessed against an unmediated ‘real’ past.

Raj Somadeva-Archaeology-Sri Lanka
මහාචාර්ය රාජ් සෝමදේව

මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න වෙනුවෙන් මා කළ ඇගැයීම අවසන් කිරීමට මත්තෙන් ඔහුගේ අනල්ප සේවයට කෘතවේදී විමක් ලෙස ඔහුගේම ගුරුවර මහාචාර්ය රොමිලා තාපර් විසින් ප‍්‍රකාශිත එමෙන්ම ඔහු වඩාත්ම ප‍්‍රිය කරන ශාස්ත‍්‍රීය සංකල්පයකින් මගේ දේශනය අවසන් කිරීමට මට ඉඩ දෙන්න. ඈත යුග පිළිබඳව හැදැරීමට මනා සහයක් ලැබෙන්නේ ඉතිහාසයට වඩා පුරාවිද්‍යාවෙන් බව දැන් පිළිගැනෙන සත්‍යයකි මේ මඟින් ඉතිහාසයත් පුරාවිද්‍යාවත් අතර අනුල්ලංඝනීය සබඳතාවක් ගොඩ නගයි. දත්ත රැස් කිරීමේදි මෙම ශික්ෂණයන් දෙක අතර වෙනස්කම් පැවතියත් අතිතය අර්ථ නිරූපනයේදී ඒ දෙකම අනුගමනය කරන්නේ එක හා සමාන විධික‍්‍රමයකි එක් වර්ගයක සමාජයක් තවත් වර්ගයක සමාජයක් තෙක් වෙනස් වීම සහ සංක‍්‍රාන්තියක් ලබා ගැනීම වඩාත් හොඳින් පැහැදිලි කිිරීමට ඉතිහාස මූලාශ‍්‍රවලට හැකි වන්නේ පුරාවිද්‍යාව මඟින් ගොඩ නඟන පොදු රාමුවක් තුළ එය සැසඳිමෙන් හෝ සම්බන්ධ කිරීමෙනි. මහාචාර්ය සෙනෙවිරත්න අප සියලු දෙනා වෙනුවෙන් මේ කාර්යයට අත ගැසීය.

*www.archaeology.lk වෙබ් අඩවිය දොරට වැඩීමේ උළෙලට සමගාමිව සංවිධානය කරන ලද මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න උපහාර උළෙල වෙනුවෙන් මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍රවණාගාරයේ දී 2009 දෙසැම්බර් 17 දින මෙම‍ දේශනය පවත්වන ලදි.

අද ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයාගේ භූමිකාව

සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

භීතිය සිඳ අභිමානවත් මනසින් බුද්ධියේ නිදහස විඳ පටු සීමාවන්ගෙන් වෙන් ව ගිය ලොවක් නොව හද පත්ලෙන් බිහි වන්නා වූ සත්‍යතාව පිරිපුන් භාවයේ නිමැවුම වෙත දෑත දිගු කර සාධාරණත්වයේ සිහිල් දිය දහර පාදඩකරණයේ මරුකතර වෙත නො යවා පුළුල් සිතින් යුතු ක්‍රියාවලිය වෙත මනස ද්‍රව ගත කර නිදහස් චින්තනයේ ස්වර්ගය වෙත මාගේ දේශය අවදි කරනු මැන, පියාණෙනි

රවීන්ද්‍රනාත් තාගෝර්

ආනන්ද කුමාරස්වාමි සමඟ දකුණු ආසියාවෙන් බිහි වූ විශිෂ්ට මනුෂ්‍යයෙකු වන රවීන්ද්‍රනාත් තාගෝර්ගේ නිදහසේ ස්වර්ගය යන කවිය සමඟ මාගේ දේශනය ආරම්භ කරමි. එය පුරාවිද්‍යා උරුම ස්ථානයක සිට පුරාවිද්‍යාඥයන් එකතුවක් සමඟ සංවාදශීලි ව සිදු කිරීමට හැකිවීම ගැන සතුටු වෙමි. මා තෝරාගත් මාතෘකාව අද පුරාවිද්‍යාඥයාගේ භූමිකාව යන්න ය. මේ මාතෘකාව නිර්වචනය කළ හොත් අද යනුවෙන් මා හදුන්වන්නේ වර්තමානය සහ ඒ සමඟ බැදෙන හෙට දවස ය. යටගියාව දෙස බලන්නා වූ වෘත්තියවේදීන් වන පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අවතක්සේරු කිරීමක් මෙහි දී සිදු නොවේ. එයට හේතුව, අද අප සිටින වර්තමානය අනුබද්ධ වී ඇත්තේ ඊළඟ එළැඹුමට ය. එම නිසා මේ කතා කරනුයේ අද පුරාවිද්‍යාඥයා ලෙස හදුන්වන ඔබගේ භූමිකාව සහ මින්පසු ව පැමිණෙන පුරාවිද්‍යා පරපුර පිළිබදව ය. එය අනාගත පුරාවිද්‍යාවේ ජීවය ලෙස ද මම දකිමි. මා මෙය වගකීමෙන් ප්‍රකාශ කරනුයේ මමත් මගේ පරම්පරාවට අයිති වන පුරාවිද්‍යාඥයනටත් නිග්‍රහ කිරීමක් වශයෙන් නො ව, නමුත් සිදු වී තිබෙන්නා වූ සහ සිදුවෙමින් පවතින ප්‍රවනතාවන් දෙස අවධානය යොමු කරමිනි.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අප විශාල කාර්යභාරයක් සිදු කර ඇතැයි පැවසිය හැක. නමුත් මා මෙහි දී සිතන්නේ අද සහ හෙට දවස වඩා වැදගත් බවයි. කෙනහිලිකම් කිරීමට නොකැමති නමුත් මා මෙහි දී මේ දෙය ප්‍රකාශ කළ යුතුයි. අපගේ පරම්පරාවේ පුරාවිද්‍යාඥයන් හා අපට පෙර සිටි පුරාවිද්‍යාඥයන් මතු පුරාවිද්‍යා පරපුරට සර්ව සම්පූර්ණ සාධාරණය ඉටුකර නැතැයි යන්න මාගේ මතය වේ. මේ අනුව ඔබ, ඔබගේ භූමිකාව තේරුම් ගෙන එම භූමිකාව කුමක් ද? එය සකසා ගත යුත්තේ කෙසේ ද? එය අනාගතය සදහා යොමු කළ යුත්තේ කෙසේ ද? යන්න සැලසුම් කරගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ භූමිකාව ඔබ අද තේරුම් නොගත හොත් එය සෝචනීය කරුණක් ද වනු ඇත. මේ රටේ දැන් පවතින්නා වූ යථාර්ථය පුරාවිද්‍යාවෙන් වෙන් කර ගැනීමට නොහැකි ය. එම යථාර්ථය අද ඉතාමත් ම තීරණාත්මක සන්ධිස්ථානයකට ද පැමිණ තිබේ. මේ වන විට යටගියාව කියවීම ස්ථානගත වී ඇත්තේ සමාජ පැසිස්ට්වාදය හා අරාජිකත්වය අතර ය. අද පුරාවිද්‍යාඥයාට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ඒ සන්දර්භය තුළ ය. එම නිසා ඒ භූමිකාව තහවුරු කරගත යුත්තේ කෙසේ ද? එහි අනාගතය කෙබඳු ලෙස ස්ථානගත විය යුතු ද? යන්න තීරණය කිරීම ඇත්තේ ඔබ අත ය. මේ තීරණාත්මක අවස්ථාවේ අද පුරාවිද්‍යාඥයාගේ භූමිකාව ඉතාමත් වැදගත් ස්ථානයක පවතී. පුරාවිද්‍යාඥයන් ලෙස මෙම තත්ත්වය කාලය හා අවකාශය තුළ සන්දර්භගත කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් අද පුරාවිද්‍යාඥයා ගැන කතා කිරීමේ දී හෙට දවස ඓන්ද්‍රීය වශයෙන් පවතින යථාර්ථයකි. නමුත් ඒ සදහා යටගියාව අමතක කළ යුතු නැත. අප අනිවාර්යයෙන් ම යම් කාල පරාසයක් තුළ දී යටගියාවේ ඇති වූ තත්ත්වයන් තක්සේරු කළ යුතු ය. එම තත්ත්වයන් තක්සේරු නොකර අද දවස හෝ හෙට දවස පිළිබඳ ව තීරණයක් ගැනීමට හෝ දැක්මක් ලැබීම අපහසු ය.

ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පසුගිය දශක පහ හෝ දහය තුළ තිබූ දැක්ම කුමක් ද? පුරාවිද්‍යාව එම කාලපරාසය තුළ ආ ගමන කුමක් ද? යටත් විජිත යුගයේ තිබුණා වූ පුරාවිද්‍යාව කුමක් ද? ඒ තුළින් ආභාෂය ලැබුවා වූ ප්‍රාචීනවේදීන්ගේ පුරාවිද්‍යාව කුමක් ද? මේ තත්ත්ව තුළ ජාතික ව්‍යාපාරය ඔස්සේ පුරාවිද්‍යාවට ලැබූ ආභාෂය කුමක් ද? සමස්තයක් වශයෙන් ඉහත කී තත්ත්වයන් අද පවතින්නා වූ තත්ත්වයට පාදක වූයේ කෙසේ ද? එය ධනාත්මක හෝ ඍණාත්මක ඇගයීමකට භාජනය කොට එම තත්ත්වය වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේ අද පුරාවිද්‍යාඥයන්ට ය. අපේ පරම්පරාවේ වගකීම තව වර්ෂ කිහිපයකින් අවසන් වනු ඇත. අප එය නිහතමානීව පිළිගත යුතු වේ. බොහෝ පුරාවිද්‍යාඥයන් එය පිළිගන්නට අකමැති බව ද අප දන්නා කරුණකි. අපි මරණින් මතුත් පුරාවිද්‍යා ස්ථානවල රැදෙන්නට අපේක්‍ෂා නොකරන පුද්ගලයන් වෙමු, යන්න සමහර පුරාවිද්‍යාඥයනට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි. පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ පූර්ණ මෙහෙයවීම, ඒකාධිකාරය පවත්වා ගැනීම, පුරාවිද්‍යාවේ තීරණ ගැනීම තමන් අත ම රඳවා ගැනීම උචිත බැව් අපේ පරම්පරාවේ සමහරු සිතූ හ. ඒ චින්තනයේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් දැඩි ව්‍යාකූලත්වයක් විකෘති කිරීමක් හා පාදඩකරණයන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ සහ චින්තනයේ ඇති විය. ගුරුකුල ඔස්සේ පුරාවිද්‍යා ප්‍රවේණිදාසයන් නිර්මාණය කිරීම හා තම ශිෂ්‍යයන්ගේ මොළ සූරා කෑම පශ්චාත් යටත් විජිත යුගයේ පවතින්නා වූ වැඩවසම් ශේෂයෝ වෙති. නමුත් ඒ කිසිවකින් ඔබ පසුබට විය යුතු නැත. ඒවා නිවැරදි කොට ඉදිරියට යාමේ හැකියාව ඔබ වර්ධනය කරගත යුතු ය.

කාලය සහ අවකාශය : කාලය ගැන කතා කිරීමේ දී ඔබ වෙත දැක්මක් සහ සැලැසුම්කරණයක් තිබිය යුතු ය. මෙය කෙටි, මධ්‍ය හා දීර්ඝ වශයෙන් සකසා ගැනීම උචිත ය. දෙවනුව අවකාශය වැදගත් ය. අවකාශය යනු කුමක් ද? මෙය පුරාවිද්‍යාඥයාගේ භූමිකාව තුළ සන්දර්භ ගත කිරීම ද වැදගත් වේ. සන්දර්භ ගත කිරීම ගැන කතා කිරීමේ දී සංසිද්ධි අනිවාර්යයෙන් ම අවකාශ ගත කිරීම අවශ්‍ය වේ. එය විශේෂයෙන් අපට උරුම වී ඇත්තේ, අප දියත් කරන ක්‍රියාවලිය තුළ පවතින්නා වූ අවකාශයට වැදගත් බැවිනි. මම එය බහුවිධ අවකාශ ලෙස හැදින්වීමට කැමත්තෙමි. අප ක්‍ෂේත්‍රය තුළ භ්‍රමණය වන්නා වූ අවකාශ තල කිහිපයක් ඇත. ඒ සියල්ල ම ගොනු කොට ගත්විට පුරාවිද්‍යාඥයාගේ භූමිකාව ඒ මත රැදී ඇත. මම මුලින් ම අවකාශයේ විවිධ තල ගෙනහැර දක්වමි. විවිධ අවකාශයන් අනිවාර්යෙන් ම ඓන්ද්‍රීය වශයෙන් එකිනෙකට සම්බන්ධ වූ ජාලයක් වේ. එයින් එකක් හෝ ඉවත් කළහොත් පුරාවිද්‍යාඥයාගේ පැවැත්මට එය ඍජු වශයෙන් ම බලපානු ඇත.

වෘත්තීමය අවකාශය : පුරාවිද්‍යාඥයාට ඇත්තේ විකල්ප දෙකකි. 1 උදේ පැමිණ පොත අත්සන් කොට කුමක් හෝ අතපත ගා සවසට ගෙදර යාමර, 2 වෘත්තීය පුරාවිද්‍යාඥයකු ලෙස මානසික ව හා ශාරීරික ව හැසිරීමෙන් තම වෘත්තීය අභිමානය ස්ථාපිත කර ගැනීම මෙයින් පළමුවැන්න පුරාවිද්‍යාඥයකුට අයත් නොවේ. මුල් කාලයේ පුරාවිද්‍යා කටයුතු PWD (Public Work Department) එකට සමාන විය. නූතන යුගයේ ශාස්ත්‍රීය පදනමකින් ලබා දුන් උපාධියක් සමග ඔබව මෙතැනට පත් කළේ නිකම් ලිපිකරුවකු වශයෙන් හැසිරීමට නො වන බව ද සිහි තබාගත යුතු ය. විශ්වවිද්‍යාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තු දියත් කරනු ලැබුයේ පාසල් ගුරුවරු හෝ ලිපිකරුවන් බිහිකිරීමට නොවේ. නමුත් වෘත්තීයවේදී පුරාවිද්‍යාඥයකු බිහි කිරීම සදහා ය. අප විස්තර කළ දෙවැනි කරුණ හා බැදී ඇත්තේ පුරාවිද්‍යාඥයාගේ පැවැත්මය ය. අපේ පැවැත්ම ද එය ම ය. එම පැවැත්ම තේරුම් නො ගත හොත් පුරාවිද්‍යාත්මක ස්ථානයන් ගිල ගැනීමට මාන බලන්නා වූ බහිරවයනට අපේ මුල් කපා දැමිමට හැකි වනු ඇත. අනිවාර්යයෙන් ම එය ඔස්සේ පුරාවිද්‍යා ස්ථාන මිලේච්ඡකරණයට ද භාජනය වනු ඇත. අපේ පැවැත්ම රැක නො ගත හොත් අපේ අනන්‍යතාව ක්‍ෂය වනු ඇත. අනන්‍යතාව නැති වූ විට පැවැත්ම සාධාරණීකරණය කිරීමට නො හැකි වනු ඇත. මේ නිසා වෘත්තීයමය අවකාශය ද ආරක්‍ෂා කර ගත යුතු වේ. අප ලෝකයට පෙනී සිටින්නේ, හුවා දක්වන්නේ පුරාවිද්‍යාඥයන් ලෙසයි. වෛද්‍යවරුන්, පරිපාලන නිළධාරීන් පවා පුරාවිද්‍යාව ගැන කතා කරති. හැම කෙනකු ම ඇගිලි ගසන විෂයකි පුරාවිද්‍යාව. ඒ නිසා ඔබගේ වෘත්තීයවේදී තත්ත්වය ස්ථාපිත කිරීම හා අනන්‍යතාව ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වි ඇත. එම වෘත්තීයවේදී තත්ත්වයේ අනෙක් කරුණ සුරක්ෂිතභාවයයි. අපේ සුරක්ෂිතභාවය ලබා ගත්නේ අපේ වෘත්තීය තත්ත්වය හදුන්වා දීමේ අනන්‍යතාව මත ය. පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පුරාවිද්‍යාඥයන්ගේ සභාව මගින් පුරාවිද්‍යාඥයා යන තැනැත්තාට හිමි වන ශුද්ධ වූ අවකාශය සටහන් කර ඇත්තේ මේ අනුව ය. එම අයිතිය ඔබ විසින් ම නැතිකර ගතහොත් ඒ ගැන ඔබ කණගාටු විය යුතු ය. උරුම ස්ථානවල වැඩකිරීමේ අයිතිය අප අත පවතින්නේ එම අනන්‍යතාව මත ය. පුරාවිද්‍යා ආයතන වල ඉහළ නිලයන් අනිවාර්යයෙන් ම පුරාවිද්‍යාඥයන් විසින් නියෝජනය කළ යුතු ය, යන්න අප ප්‍රකාශ කරන්නේ මෙම තත්ත්වය මත ය. එය එසේ විය යුත්තේ බුද්ධිමය ඒකාධිකාරය තුළින් එම ආයතනවල වැඩ කරන පුරාවිද්‍යාඥයන්ගේ හා කාර්යයන් තුළ යම් ගුණාත්මක ප්‍රමිතියක් එයින් ස්ථාපිත කළ හැකි නිසා ඔබගේ පෙළ ගැස්මේ තත්ත්වය සහ වෘත්තීමය ප්‍රමුඛතාවන් සුරක්ෂිත කිරීමට වගබලා ගත යුතු ය. මේ අනුව වෘත්තීය පුරාවිද්‍යාඥයකුගේ හැසිරීම ඉතා ම වැදගත් වේ. විශේෂයෙන් ම තමුන් කරන්නා වූ විෂය හා විද්‍යාවේ ඇති පරිපූර්ණ භාවයට වෘත්තීයමය ප්‍රමිතියක් අනිවාර්යෙන් ම තිබිය යුතුයි. අර්ධ ප්‍රමිති අවශ්‍ය නොවේ. විශේෂයෙන් ගෝලීයකරණය තුළ ජාත්‍යන්තර ප්‍රජාව මේ තත්ත්වය බලා සිටිති. ඒ නිසා ඔවුන් සමඟ වැඩ කීරීමේ දී අපේ ප්‍රමිතිය ඍජු ව බලපානු ඇත. එසේ නො වුවහොත් ප්‍රාචීනවේදීන් හා යටත්විජිතවේදීන් හැදින් වූ අන්දමට ම මුන්ට හරියට වැඩක් කළ නො හැක යන්න ඔවුන් ප්‍රකාශ කරනු ඇත. වැඩ කළ හැක්කේ සුදු මිනිහාට හෝ ඔවුනට කත් අදින අයට පමණයි යනුවෙන් ඔවුන් පැවසිය හැකි ය. සුදු මිනිහාට නො ව අපට, අපේ ප්‍රමිතිය උපරීම උසස් මට්ටමෙන් උපරිමයෙන් පවත්වා ගැනීමට හැකි විය යුතු ය.

පුරාවිද්‍යාඥයා වෘත්තීයවේදියකු ලෙස සාරධර්ම පද්ධතියක් ද ආරක්ෂා කර ගත යුතු වේ. සාරධර්ම ආරක්ෂා කර නො ගත හොත් තමුන්ට ම ආරක්ෂාව නැති වී කැලේ නීතිය රජ කරනු ඇත. මේ සදහා ඍජු ව ම බලපානුයේ ඔබ පුරාවිද්‍යාඥයන් අතර ජ්‍යෙෂ්ඨයකු නම් කණිෂ්ඨ පුරාවිද්‍යාඥයන් වෙත දැක්විය යුතු ආකල්පය. ඔබ යම් ඉගැන්වීමක් කරන්නේ නම්, ඒ ඉගැන්වීම කළ යුත්තේ ගුරුමුෂ්ටි ඇති ව නොවේ. ශිෂ්‍යයකු බය කරන්නා වූ මනුෂ්‍යයා ගුරුවරයකු නොවේ. මේ තත්ත්වය අද විශ්වවිද්‍යාල තුළ ද සුලභ ය. විශේෂයෙන් ම තමන් නැගපු ඉණිමගට පයින් ගසා ඊළඟට එන මිනිසා නවත්වන්නට කටයුතු කරන අය දැන් බහුල බව ද අත්දැකීමෙන් අප දනිමු. ශිෂ්‍යයාට වඩා අඩි දහයක් ඉදිරියෙන් සිටීමට තරම් බුද්ධිමය හැකියාවක් ගුරුවරයාට තිබිය යුතු ය. එය ගුරුවරයාගේ දක්‍ෂතාව ද විය යුතු ය. එසේ නොකර අද තරුණ පුරාවිද්‍යාඥයාට ඉදිරියට යාමට නො දෙන්නේ නම්, ඔවුන්ගේ බුද්ධිය සූරා කන්නේ නම්, ඔවුන්ගේ ප්‍රකාශන මංකොල්ල කන්නේ නම් පුරාවිද්‍යාඥයාගේ වෘත්තීයට සහ එහි අභිමානයට මෙම තත්ත්වය අගාධයක් වනු නියත ය. එක පරම්පරාවක් අනෙක් පරම්පරාව සමග අත්වැල් බැඳගෙන වෘත්තීයමය තත්ත්ව රැක ගන්නේ නැත්නම් ඒ දම්වැල කැඩෙනු ඇත. එසේ නො වන්නේ නම් වෘත්තීමය තත්ත්වයන් පාදඩකරණයට ලක් වනු ඇත. අපගේ ප්‍රගතිය සදහා වෘත්තීය මට්ටම, සාරධර්ම මානව දයාව වර්ධනය කරගත යුතු ය. මේ ලිප්ගල් තුන නැත්නම් මුට්ටිය කඩාවැටෙනු නියත ය. බුද්ධිමය හා චින්තනමය අවකාශය පුරාවිද්‍යාඥයා තම විෂයපථය තුළින් ජීවන දර්ශනය සාදා ගන්නා කෙනෙකි. ඒ නිසා පුරාවිද්‍යාඥයකුට තනි ව ජීවත් විය නො හැක. මක් නිසා ද යත් මෙය කණ්ඩායම් විෂයයක් වන බැවිනි. මේ නිසා වෘත්තීයමය හා චින්තනමය අවකාශය අවශ්‍යයි. අප කරන්නා වූ දෙයට දර්ශනයක් තිබිය යුතු ය. එම දර්ශනය බුද්ධිමය තත්ත්වයකින් අප බලන්න උත්සාහ කරන්නේ චින්තනමය හා බුද්ධිමය අවකාශය අපට අවශ්‍ය නිසයි.

අපේ කාර්යය පුරා මිනිසුන් සිතූ හා හැසිරුණු අන්දම අධ්‍යයනය කිරීමයි. එය මනඃකල්පිත දෙයක් නොවන නිසා අප යථාර්ථවාදී ලෙස යටගියාව දෙස බැලිය යුතු ය. ද්‍රව්‍යාත්මක සංස්කෘතිය හා ප්‍රජානනය ඔස්සේ යටගියාව දෙස බැලීමට බුද්ධිමය හා චින්තනමය අවකාශය යෙදවිය යුතු ය. මේ සඳහා චින්තනමය නිදහස අවශ්‍ය වේ. එහි අනෙක් කරුණ නම් සංවාදාත්මක පුරාවිද්‍යාවේ අවශ්‍යතාවයි. සංවාදය අප ගොඩ නැගිය යුත්තේ අප අතර පමණක් නො ව, යටගියාවේ පැවති තත්ත්ව සමඟ ද විය යුතු ය. ඒ තුළින් යටගියාවේ ද්විඝටනාත්මක තත්ත්වය ද ග්‍රහණය කර ගත හැක. මේ සදහා චින්තනයේ නිදහස ඉතා ම වැදගත් වේ. සත්‍ය සොයන්නා සතර අගතියෙන් තොර නිදහස් නිරීක්‍ෂකයකු ලෙස ක්‍රියා කළ යුතු බව මීට වසර 2,500කට පෙර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළ දෙයකි. පුරාවිද්‍යාඥයා සතර අගතියෙන් තොර ව හැසිරිය යුතු වෘත්තියවේදියෙකි. ඒ පුරාවිදඥයා හා බැදී පවතිනුයේ ඔහු ලබා ගන්නා යටගියාව අධ්‍යයනය කිරීමේ විශේෂ කාර්ය භාරයයි.

පර්යේෂණාත්මක අවකාශය : මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලටත් විශ්වවිද්‍යාල හා රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ඍජු ව බලපාන්නා වූ කරුණකි. පර්යේෂණාත්මක අවකාශය යනු වෘත්තීය තත්ත්වයේ පුරාවිද්‍යාවයි. පරිපාලනය කරන අධ්‍යක්ෂ හා ඒ හා බැදුණු සෙසු නිලයන් පර්යේෂණ අවකාශය තුළ අනිවාර්යයෙන් ම පැවතිය යුතුයි. පර්යේෂණවලින් තොර පුරාවිද්‍යාවක් නැත. පර්යේෂණවලට එරෙහි වන ආයතනවලට අවශ්‍ය නම් ඒ සදහා PWD එක යොදා ගත හැක. අපි ගැටලු අභිමුව හා තත්ත්ව මූලික සාධක වෙත යාමට අපගේ පර්යේෂණ අවකාශය සැකසිය යුතුයි. ඒ සදහා සුදුසු වාතාවරණය සැකසීම ඉතා ම වැදගත් ය. මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි උසස් ආයතන මේ පර්යේෂණ ක්‍රියාවලිය තේරුම් නො ගත හොත් එම ආයතනවල තිරසාර පැවැත්මට ඉදිරියේ දී මේ තත්ත්වයන් බාධකයන් විය හැක. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා ස්ථානවල විශිෂ්ට පර්යේෂණ ආරම්භ කළ යුතු යැයි අපි මීට පෙරත් යෝජනා කර ඇත්තෙමු. ඒ සදහා අවශ්‍ය සම්පත් අපට ඇත. එම බුද්ධිමය සම්පත් භාවිත කොට කණිෂ්ට පර්යේෂකයන්ගේ බුද්ධිමය හා චින්තනමය අවකාශය පුළුල් කර පර්යේෂණ කිරීමේ පහසුකම් සකසා දිය යුතු ය. ඒ සදහා අධ්‍යක්ෂකවරු අත වැඩි වගකීමක් ඇති බව ද මම අවධාරණය කරමි. මේ වන විට පුරාවිද්‍යා ස්ථාන ගුප්ත ලෙස හුදකලා කොට ඇත. අභිරහස් ලෙස පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට කප්පාදුවක් සිදු වෙමින් පවතී. මේ මහා නිධාන තුළ පවතින මේ මූසල තත්ත්වය වෙනස් කොට, භෞමික ක්ෂේත්‍රය හා පාරිසරික ක්ෂේත්‍ර අතර සබඳතා පුළුල් කර, මුළුමහත් කලාපය අළලා පර්යේෂණ ආරම්භ කළ හොත් වඩා පුළුල් ඉතිහාසයක් තේරුම් ගැනීමේ අවකාශය අපට ලැබෙනු නියත ය. මෙහි වගකීම රැදී ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරුන් වෙත ය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ කෙනකු සිටිය යුත්තේ පර්යේෂණ පහසුකම් සපයන්නකු ලෙස ය. ඔහු වැඩවසම් පාලකයකු විය යුතු නොවේ.

පුරාවිද්‍යාව හා නූතන දේශපාලන යථාර්ථය : මෙය ඉතාමත් සංකීර්ණ මාතෘකාවකි. හැම මනුෂ්‍යයෙකුට ම දේශපාලන දර්ශනයක් සහ සංවේදීභාවයක් ඇත. දේශපාලනය රටේ ආර්ථික, ආගමික හා සමාජ යථාර්ථය හසුරුවන්නකි. එය ඍජු ව පුරාවිද්‍යාවට ද බලපායි. ලංකාවේ යටත් විජිත යුගයේ සිට පුරාවිද්‍යා න්‍යාය පත්‍රය තීරණය වූයේ දේශපාලනය අනුවයි. මෙය සැමදා සිදු විය යුතු නැත. විශේෂයෙන් පුරාවිද්‍යා විෂයයට, පුරාවිද්‍යා කටයුතුවලට දේශපාලකයන්ගේ ඇගිලි ගැසීම් හා පරිපාලන නිලධාරීන්ගේ ඇගිලි ගැසීම් අප පිළිගන්නේ ද නැත. නිදහස් සන්දර්භයක් තුළ වැඩ කිරීම උදෙසා අපට ස්වාධීනත්වය අවශ්‍යයි. ඒ සදහා අප වෙත ඇති බුද්ධිමය හා වෘත්තීමය පරමාධිපත්‍යය අප ආරක්ෂා කළ යුතු ය. සකසා ගත යුතු ය. මෙම දේශපාලන, සමාජ-ආර්ථික යථාර්ථය තුළ පුරාවිද්‍යාඥයා අනිවාර්යයෙන් ම විද්‍යාඥයකු ලෙස හැසිරිය යුතු ය. ඉතිහාසය අර්ථකථනය කිරීමේ දී එය විකෘතී කිරීම්වලින් තොර ව ඉටු කළ යුතු වේ. හිතාමතා විකෘති කිරීම් කළහොත් අපගේ වෘත්තීය අභිමානය හා අයිතිවාසිකම් අප විසින් ම නිෂ්ප්‍රභා කර ගනු ඇත. ඒ නිසා මේ යථාර්ථය තුළ අපේ විෂයය ධාරාව හා ස්වාධීනත්වය කෙතෙක් දුරට පවත්වා ගෙන යා හැකි ද? එසේ පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කළ යුත්තේ ද අපම ය. මේ තත්ත්වය තුළ පුරාවිද්‍යාඥයා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහුට හෝ ඇයට සමාජ යථාර්ථයෙන් වෙන් විය නො හැක. මේ නිසා පුරාවිද්‍යාඥයා සමාජ සබදතා හා අනිවාර්යයෙන් බැදී සිටින්නෙකි. ලංකාවේ මේ වන විට වර්ගවාදී ප්‍රශ්නයක් ඇත. වර්ගවාදය වපුරන්නටත්, නිශ්ප්‍රභා කරන්නටත් අපට හැකි වේ. ජාතික අනන්‍යතාවන් ගැනත් වර්ගවාදයේ යථාර්ථය පිළිබඳවත් පුරාවිද්‍යාඥයා අනිවාර්යයෙන් ම ප්‍රශ්න කළ යුතු ය. උතුරේ හා දකුණේ දැවෙන්නා වූ වර්ගවාදය නිසා අද අප රට පැසිස්ට්වාදී අන්තවාදී දේශපාලන තර්ජනයකට මුහුණ දී ඇත. ලක්ෂ්මන් කදිරගාමර් වැනි විශිෂ්ට පුද්ගලයන් ඒ ප්‍රහාරයන්ට ලක් ව මිය ගියේ මේ තත්ත්වය තුළ ය. ඒ නිසා අනිවාර්යයෙන් ම, අප ඉතිහාසය තුලනාත්මක ව සලකා බැලිය යුතු ය.

විශේෂයෙන් ම අප කැනීමක් සිදු කරද්දී පූර්ව නිගමන තුළ හිර නොවී සම තුලිත තත්ත්ව තුළ එය මෙහෙය විය යුතු ය. සතර අගතියෙන් තොර පුරාවිද්‍යාවක් බිහි කළ යුත්තේ මේ නිසා ය. පුරාවිද්‍යාඥයා මෙරට බහු සංස්කෘතික යථාර්ථය තේරුම් ගත යුතු ය. වර්ථමානයේ මෙන් ම පුරාණයේ ද මෙරට පැවැති සංස්කෘතික විවිධත්වය හදුනා ගත යුතු ය. උදාහරණ වශයෙන් අනුරාධපුර ජේතවනාරාමය ගතහොත් එය තුළ බහු සංස්කෘතික ලක්ෂණ ඇත. මහායාන ලක්‍ෂණ මෙන් ම හින්දු ආගමට සම්බන්ධ තොරතුරු ද අපට ලැබී ඇත. අප ඒවා අර්ථකථනය කළ යුත්තේ තුලනාත්මක ලෙස ද්විපික සංස්කෘතියක කොටස්කරුවන් ලෙස ය. බහු සංස්කෘතිකමය දෘෂ්ටිකෝණයෙන් අපට ත්‍රස්තවාදීන්ගේ මේ පැසිස්ට් දෘෂ්ටිකෝණයට අභියෝග කිරීමට හැකි වේ. ප්‍රාචීනවේදීන්ගේ න්‍යාය වී පැවතුනේ මුළු ද්වීපය ම අරක් ගත් වර්ගයක් හෝ එක් ආගමක් පිලිබද ව ය. මේ පටු අනන්‍යතාවේ සාවද්‍යභාවය පසුගිය දශක දෙක තුළ නිමකළ පුරාවිද්‍යා පර්යේෂණයන්ගෙන් ඔප්පු විය.

ශ්‍රී ලංකා පුරාවිදඥයා සහ විදේශ පුරාවිද්‍යාඥයා සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයාගේ භූමිකාව සලකා බැලීමේ දී එය විදේශීය වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරිත්වයට සාපේක්‍ෂක ව සලකා බැලිය යුතු වේ. ගෝලීයකරණීය තත්ත්ව යටතේ බටහිර රටවල පුරාවිද්‍යාඥයන් දකුණු ආසියාව තුළ ද්‍රවගත වෙමින් පවතී. මෙහි දී ඔවුන්ගේ ක්‍රියාකාරී පදනම ගැන ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේදීන්ගේ සභාව තීරණ ගත යුතුයි. ඔවුන් වැඩ කළ යුත්තේ කා සමග ද? වැඩ කිරීමේ දී අපගේ වගකීම හා තත්ත්වය කුමක් ද? යන්න ගැන අප විමසිය යුතු ය. එය එසේ නො වුවහොත් වර්තමානයේ පාකිස්තානයට සිදු වූ දෙය අපට ද සිදු වීමට ඉඩ ඇත. මේ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා ස්ථානවලින් පර්යේෂණ නැඹුරුවක් ඇති කර පර්යේෂණ පදනම වැඩි කිරීමට අප කටයුතු කළ යුතු වේ. මේ සදහා ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනීම අත්‍යවශ්‍ය ය. ඒ සමඟ සම්භාව්‍ය පෙරදිග භාෂා පිළිබඳ හසල දැනුමක් ද පුරාවිද්‍යාඥයාට තිබිය යුතු ම ය. මේ තත්ත්වය සදහා සංවාද මණ්ඩප සැකසීම අද ඔබේ එක් කාර්ය භාරයක් විය යුතු ය. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන්ගේ ද සහාය ලැබිය යුතු ය. එසේ වුවහොත්, අද ඔබ මුහුණ පා තිබෙන මේ අරාජික තත්ත්වය යම් පමණකට හෝ සමනය කර ගැනීමට හැකි වනු ඇත. ඒ නිසා අද ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයාගේ භූමිකාව කුමක් ද? යන්න පිළිබඳ ව ඔබ වඩාත් හොඳින් දැන් තේරුම් ගත යුතු ව ඇත.

පුරාවිද්‍යාව ගැටලු අභිමුඛ සහ තත්ත්වමූලික විද්‍යාවකි. අතීත මනුෂ්‍ය ස්වභාවය ඔවුන්ගේ අත්දැකීම් සහ චර්යා රටා පිළිබද ව සොයා බලන, ඒවා වාර්තා කරන සහ ඒවා අර්ථ නිරූපණය කරමින් ඒවායේ නියම උරුමක්කාරයින් වන අනාගත පරපුර වෙත එම දැනුම පවරා දෙන බහුවිෂයීය විෂයයකි. අතීතය අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයා විෂය මූලික වූත් අගතිගාමී හෝ අවිචාරවත් නො වන්නා වූත් විද්‍යාඥයෙකි. ඒ සියල්ලට ම වඩා පුරාවිද්‍යාඥයා අතීතයට හෝ අනාගත ගිවිස ගැනීමට බිය නො වන මානුෂ්‍යවාදී සමාජ ක්‍රියාකාරිකයකු ද වෙයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 6 : පුරාශිලා යුගය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාශිලා යන වචනයෙන් හැඟවෙන ආකාරයෙන් ම මෙ මගින් කියැවෙන්නේ පැරණි ශිලා යුගය (old stone age) පිළිබඳවයි. මෙම ලිපි මාලවේ පළමු ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට ප‍්‍රාග් ඓතිහාසික අවධිය තුළ අනුයුග කීපයක් පවති. එම සෑම යුගයකට ම පොදු ලක්‍ෂණය වශයෙන් හඳුනාගත හැක්කේ ගල් මෙවළම් භාවිත වීමයි. මෙ ලෙස ගල් ආයුධ භාවිත වන යුගයන් ගේ භාවිත ගල්ආයුධවල වර්ධණීය ලක්‍ෂණ අනුව අවස්ථා කීපයක් වශයෙන් වෙන් කෙරේ. ඒ අනුව, වර්ධනය අතින් පහළ ම ලක්‍ෂණ නිරූපණය කරන්නේ පුරාශිලා යුගයයි. මෙම යුගය පුරාවිද්‍යාඥයින් අතර පැලියෝලිතික යුගය (Palaeolithic) යනුවෙන් භාවිත වේ. මෙම ලිපියෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මිනිසා ගේ පැරණි ම අවධිය වශයෙන් හඳුනාගන්නා පුරාශිලා යුගය ලංකාවේ පැවතුණු ආකාරය පිළිබඳ ව සාකච්ඡා කිරීමට අවස්ථාව උදා කරගත හැකි වේ.

පුරාශිලා නැති නම් පැලියෝලිතික යන වචනයේ වාච්‍යාර්ථය වන්නේ ‘පැරණි ම ගල් යුගය‘ යන්නයි. මානවයා තම මනස භාවිත කරමින් ගල් මෙවළම් තමා ගේ විවිධ කාර්යයන් උදෙසා භාවිත කිරීම මෙම යුගයේ දී ආරම්භ කරයි. ප‍්‍රාග් ඓතිහාසික අවධිය යටතේ අවධානයට පාත‍්‍ර වල මානවයාගේ අතීතය පිළිබඳ කතාවේ දීර්ඝ ම කාලපරිච්ඡේදයක් නියෝජනය කරනු ලබන්නේ පුරාශිලා නැතිනම් පැලියෝලිතික යුගයයි. ඊට සාපේක්‍ෂ ව මධ්‍යශිලා හා නවශිලා යුග නියෝජනය කරනු ලබන්නේ කෙටිකාලීන කාලපරාසයකි. ලංකාවේ මානවයාගේ අතීතය තුළ පුරාශිලා යුගය අදින් වසර 70,000-250,000 කාලය තුළ පැවතුණු බව පැහැදිළි වී ඇත. දැනට අනාවරණය වෙමින් බවතින සාධක සමඟ මෙහි ඈත කාලය අදින් වසර 1,600,000 (ලක්‍ෂ 16) දක්වා ඈතකට ගමන් කිරීමේ හැකියාවක් ඇති බව පෙනී යමින් පවති.

ඒ අනුව මානව අතීතයේ ඉතා දීර්ඝ කාලයක් නියෝජනය කරනු ලබන පුරාශිලා යුගය අනුයුග තුනකට බෙදා අධ්‍යයනය කිරීමට පුරාවිද්‍යාඥයින් හා මානවවිද්‍යාඥයින් පෙළඹි සිටි. එ නම්, පහළ පුරාශීලා යුගය (Lower Paleolithic), මධ්‍ය පුරාශිලා යුගය (Middle Paleolithic) හා ඉහළ පුරාශිලා යුගය (Upper Paleolithic) වශයෙනි.

ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයින් අතර ආරම්භක අවස්ථාවන්හි දී පුරාශිලා යුගයටත් පූර්ව ශිලා අවදීයක් පිළිබඳ ව යම් අවධානයක් පැවතින. මෙම අවධිය අරුණ ශිලා අවධිය (Eolithic) යනුවෙන් හැඳින්වින. එයින් අදහස් වන්නේ ශිලා අවධිය පිළිබඳ මුල් ම අවධානය යොමු වූ අවස්ථාව වශයෙනි. එ නම් ශිලායුගයේ අරණළු පහළ වූ අවධිය යන අරුත මෙම වචනයේ ගැබ් වී ඇත. මිනිසා තම මනස භාවිත කරමින් විශේෂ ආකාරයකින් හැඩ ගැසීමට හෝ සකස් කිරීමකට ලක් නොකළ ද, ස්වාභාවික ව පරිසරයෙන් ලැබෙන ගල්කැට වල ඇති හැකියාව හා උපයෝගිතාව පිළිබඳ දැනුවත්ව ඒවා තම විවිධ කාර්යයනට භාවිත කළ බවට අදහස් ඇත. ඒ අනුව සතුරනට පහර දීම, විවිධ දෑ තලා ගැනීම වැනි කාර්යය සඳහා ස්වාභාවික ව හමු වන ගල් භාවිත කර ඇත. වර්තමානයේ දී විවිධ ගෙඩි වර්ග කඩාගැනීමට කිසිදු සකස් කිරීමකට ලක් නොකල ගලනැටිති භාවිතය මේ සඳහා උදාහරණයක් වශයෙන් සැකලිය හැකි වේ. පුරාවිද්‍යාඥයින් විසින් අරුණශිලා යුගයට අයත් සේ සලකනු ලබන ගල් අතර කිලෝග්‍රෑම් 5ක් වැනි බරින් වැඩි ගල් පවතින බැවින් ඒවායේ උපායෝගිතාව ප‍්‍රශ්න කෙරී ඇත. කෙසේ නමුත් අදවන විට පුරාවිද්‍යාඥයින් හා මානවවිද්‍යාඥයින් විසින් මිනිසා ගේ සංස්කෘතියේ ආරම්භක අවස්ථාව වශයෙන්, මෙම ලිපිය සඳහා ද ප‍්‍රස්තුත වී ඇති පුරාශිලා යුගය අවධානයට ලක් වී ඇත.

ලෝකයේ මානව අතීතයේ දී පසුකර ඇති පුරාශිලා යුගය නැතිනම් ගල් යුගයේ ආදිම කාලය පිළිබඳ සාධක අප‍්‍රිකාණු මහාද්වීපයට අයත් රටවල්, යුරෝපා කලාපයට අයත් රටවල මෙන් ම ඉන්දියාව ආශ‍්‍රයෙන් ද පුරාශිලා හෙවත් පැලියෝලිතික යුගයට අයත් මානවකෘති හමු වී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම යුගයට අයත් සාධක හමුවීම පිළිබඳ ව තත්ත්වය එතරම්ම පැහැදිළි නොවන බව මෑතක් වනතෙක් ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයින් එලඹ සිටි අදහසකි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ ආරම්භක කාලයේ දී, එ නම් යටත් විජිත පාලන සමයේ ද් විවිධ පුද්ගලයින් විසින් විවිධ අවස්ථාවන්හි දි එක්රැස් කළ ගල්මෙවලම් අතුරින් සමහරක් පුරාශිලා හෝ ඊටත් පූර්ව අරුණ ශිලා යුගයට අයත් බව ඔවුන් විසින් ප‍්‍රකාශ කර ඇත. එම කරුණු විධිමත් අධ්‍යයන මත ඉදිරිපත් නොවූ බැවින් හා අදවන විට වඩාත් වර්ධනය වි ඇති ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ දැනුම් පද්ධතිය හා සමපාත නොවන බැවින් එම අදහස් ඒ ආකාරයෙන් පිළිගැනීම ගැටළුදායක වේ.

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා පෙන්වා දී ඇති ආකාරයට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික දත්ත අවසාධිත තැම්පතු වර්ග ස්ථාන තුනකින් අනාවරණය වේ. එ නම්, 1. පහතරට තෙත් කලාපයට අයත් ගංගා ආශ‍්‍රිත රත්නපුර නිධි, 2. අර්ධ ශුෂ්ක කලාපයේ වූ ඉරණමඩු සංයුතියට අයත් වෙරළබඩ දියළුනිධි, බොරළු හා මතුපිට වූ වැළිකඳු හා 3. පහත රට තෙත් කලාපයේ වූ ගල්ලෙන්වල අවසාධිත සහ එළිමහනේ වූ පස් තැම්පතු යන ස්ථාව වර්ග තුනයි. මේවා අතුරින් අංක 2 යටතේ දක්වා ඇති චාතුර්ථික අවධියේ තොරතුරු සපයන අර්ධ ශුෂ්ක කලාපයේ වෙරළබඩ වැලි වැටිය හෙවත් බොරළු තට්ටුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක අනාවරණය කරන ස්ථාන අතුරින් විශේෂ වැදගත්කමක් ඇති ස්ථාන වශයෙන් කැපී පෙනේ. මෙම තැම්පතු භූගත ජීර්ණයට ලක් වී තද රතු පැහැයේ සිට හුඹස් මැටි රතු පැහැය ගෙන ඇත. විශාල ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තැම්පතුව ඊ.ජේ. වේලන්ඞ් විසින් ප‍්‍රථමයෙන් ම ‘ප්ලැටෝ ඩිපොසිට්’ යනුවෙන් හදුනාගත් අතර පසු ව ඉරණමඩු පාංශු තැම්පතුව (Iranamadu Formation-IFm) යනුවෙන් නම් කරන ලදි.

ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් කුදිරමලේ

මෙම වැලි තට්ටුව එළියොනයිට් වශයෙන් ජීර්ණය වූ පැරණි වෙරළබඩ වැළිකඳු ලෙස සැලැකිය හැකි වෙයි. මෙම වැලි තට්ටුවේ ෆෙල්ඞ්ස්පාර්, ඇම්ෆිබෝල්ට්ස්, ෆයිරොක්සීන් හා ගා(ර්)නට් ආදි සංඝටක අන්තර්ගත වෙයි. එ වැනි රසායන තත්ත්වයක් නිසා මේ වැලි වැටිය රතුපැහැ හා විශේෂ ලක්‍ෂණ නිරුපනය කරන බව භූ විද්‍යාඥයින් ගේ නිගමනය වී ඇත. එහෙත් මේ පිළිබඳ හිතළු අදහස් හා සමහර ජනප‍්‍රවාද මගින් කියවෙන්නේ අතීතයේ පැවති මානුෂියත්වය ඉක්මවා ගිය පුද්ගලයකුගේ ක‍්‍රියාකාරකම් නිසා මෙම තැමතුවේ හැඩය හා ස්වාභාවය නිර්මාණය වී ඇති බවයි.

පුරාවිද්‍යාඥයින් විසින් ඉරණමඩු පාංශු සංකීර්ණය වශයෙන් හඳුනාගන්නා මෙම පාංශූ තැම්පතුව ලංකාවේ වයඹදිග ප‍්‍රදේශය, උතුරුදිග ප‍්‍රදේශය, ගිණිකොණදිග ප‍්‍රදේශය හා දකුණු දිග ප‍්‍රදේශය යන ප‍්‍රදේශයන් ගේ වෙරළාසන්න කලාපයේ තීරයක් වශයෙන් ව්‍යාප්ත ව ඇති බව නිරීක්‍ෂණය කළ හැකි වේ. උස්සන්ගොඩ ප‍්‍රදේශයේ දැක ගත හැකි රතුපැහැති පස් තට්ටුව මෙම පාංශු සංකීර්ණය පිළිබඳ ලංකාවේ බොහෝ සිංහල පාඨකයින් ගේ අද්දැකීම් අතර ඇත. සංයුතියෙන් හා සැකැස්මෙන් මෙම පාංශු තැම්පතුව හා සමාන පාංශු තැම්පතුවක් ඉන්දීය අර්ධද්වීපයේ නැගෙනහිර හා දකුණු ප‍්‍රදේශයේ වෙරළාසන්න කලාපයේ ව්‍යාප්ත වී ඇති බවත් හඳුනාගත හැකි වේ. ලංකාවේ ඉරණමඩු පාංශු සැකැස්ම වශයෙන් මෙම පස් තැම්පතුව හැඳින්වෙන අතර ඉන්දියාවේ දී මෙම සැකැස්මට තේරි ක්‍ෂේත‍්‍ර (Terri sites) යනුවෙන් පර්යේෂකයින් ගේ වඅධානයට ලක් වී ඇත. ඉන්දියාවේ ව්‍යාප්ත වී ඇති මෙම පාංශු සැකැස්ම ද ලංකවේ ඉරණමඩු පාංශු සැකැස්ම හා සමාන භූ විද්‍යාත්මක සිද්ධින් හා රසායන සංයුතින් අනුව සැකසී ඇති බව ඒ පිළිබඳ අද්‍යයන සිදුකළ පර්යේෂකයින් ගේ අදහසයි.

ශ්‍රී ලංකාව තුළ ඉරණමඩු පාංශු සංකීර්ණයේ ව්‍යාප්තිය (අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද සිතියමකි.)

ලංකාවේ ඉරණමඩු පාංශු සංකීර්ණය නැතිනම් මෙම වැලිපස් තට්ටුව විහි දී ගිය ප‍්‍රදේශ වශයෙන් පහත දැක්වෙන ස්ථාන හඳුනා ගත හැකි වේ.

– පල්ලම සිට පුල්මඩුව දක්වා වූ වයඹ දිග හා උතුරු දිග වෙරළබඩ ශ‍්‍රි ලංකාව

– අම්බලන්තොට සිට පොතුවිල් කෝමාරි දක්වා වූ ගිණිකොණ දිග හා දකුණු දිග ශ‍්‍රි ලංකාව

ක‍්‍රිස්තු වර්ෂ 1972 දි ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසින් මෙම ඉරණමඩු පාංශු සංකීර්ණයේ පැරණි බව තිරණය කිරිමේ පර්යේෂණ ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරන ලදි. මේ අනුව ඉරණමඩු පාංශු සංකීර්ණය සමස්ත වශයෙන් අද්‍ය්‍යනයට ලක්කෙරුණු අතර එහි දී ලංකාව වටා පිහිටි ස්ථාන 50ක් විශේෂ අයධානයට ලක් කොට අධ්‍යයනයට පාත‍්‍රකරන ලදි. දළ වශයෙන් අදින් වසර 125,000කට පෙර කාලයක සිට අදින් වසර 250,000ක් දක්වා වූ දක්වා කාලය තුළ ලංකාවේ ක‍්‍රියාත්මක වූ පරිසරය හා ප‍්‍රාග් ඓතිහාසික අවධියට අයත් පුරාශිලා යුගයේ සාධක හඳුනාගැනීම හා අර්ථකථනය කිරීම සඳහා මෙම පුරාවිද්‍යා පර්යේෂණ මඟින් හැකියාව උදාකර දෙන ලදී.

ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් සිදුකරන ලද ගවේෂණයේ දි අවධානයට ලක් වූ ස්ථාන වශයෙන් පහත ස්ථාන වැදගත් වේ.

වයඹදිග ප‍්‍රදේශයේ වූ විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අරනකල්ලු ආශ‍්‍රිත පොම්පරිප්පු, මුල්ලිකුලම්, මරිච්චුක්කණ්ඩි, සිලාවතුරෙයි, මුරුක්කන්, මඩු, අන්දන්කුලම්, වෙල්ලන්කුලම්/ අරිනකල්ලු, වනාතවිල්ල, ඉලවන්කුලම්, පුලියන්කුලම්/අරිනකල්ලු, පුත්තලම, තබ්බෝව, කල්ලඩි, මදුරන්කුලි, බංගදෙණිය, පල්ලම, ආඬිගම, ආණමඩුව

උතුරු ප‍්‍රදේශයේ වූ මාන්කුලම්, නවකොකාවිල්, ඉරණමඩු, අලිමංකඩ/ මාන්කුලම්, ඉරණමඩු, පැරණි කොකාවිල්, මුරියකුලම්, කච්චමිකුලම්, ඕලුමඩු /මාන්කුලම්, නවකොකාවිල්, මුරිකන්ඩි, මරදන්කුලම්, උයිලන්කුලම්, තුනුක්කායි, වෙල්ලන්කුලම්, පල්ලවරායන්, කඞ්ඩු, පූනකරි, පරන්තන්, පුදුකුඩුඉරිප්පු ඔඞ්ඩුසුඩාන්, නැදුන්කර්නි, පුලියන්කුලම්

ගිණිකොණදිග හා දකුණු කලාපයේ වූ බූන්දල හා රුහුණු ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිතව යාල, මිනිහාගල්කන්ද, ඔකද, පානම, පොතුව්ල් / බූන්දල, තෙළුල, තිස්සමහාරාමය, හම්බන්තොට, අම්බලන්තොට, හුංගම, රන්න, තංගල්ල / බූන්දල, අඟුණකොළපැලැස්ස, ඇඹිලිප්ිය ආදි වශයෙන් වූ ප‍්‍රදේශ ගණනාවක් ආචාර්ය සිරාන් දැරණියගල ගේ තියුණු පර්යේෂණයට ලක් විය.

මෙම ගවේෂණ හා අධ්‍යයන මගින් අනාවරණය වූ පුරාවිද්‍යාත්මක සාධත අනුව ‘අවුරුදු 125,000ක ට පමණ පෙර ශ්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස පැවැති බවට සැකයකින් තොර ව පෙන්වා දීමට හැක් විය. මීට අදාළ ප‍්‍රබල ම සාධක හමුවන්නේ බූන්දල ප‍්‍රදේශයේ මුහුදු වෙරළ ආශ‍්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් මඟිනි. මෙහි විසූ මිනිස්සු මධ්‍යතන පැලියෝලිතික (පුරාශිලා) තාක්‍ෂණික යුගයට අයත් සේ සැලැකිය හැකි තිරුවාණා හා චර්ට් ගලින් ගල් මෙවලම් නිපදවූ බව සාධක අනාවරණය විය. මෙම වැලි හා බොරළු ස්ථරයන්ගේ කාලනීර්ණය ඉදිරි අධ්‍යයන අනුව වසර 250,000/500,000 දක්වා ඉදිරියට යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම සාධක අනාවරණය වූ පුරාවිද්‍යා කැනීම පිළිබඳ විස්තර දළ වශයෙන් හෝ සාකච්ඡා කිරීම මේ අවස්ථාවේ දී වැදගත් විය හැකි බව මෙම රචකයා ගේ විශ්වාසයයි. එ බැවින් සාමාන්‍ය පාඨකයාට වෙහෙසකාරි අද්දැකීමක් විය හැකි වුවත් විමර්ශනශීලි පාඨකයාට වැදගත් විය හැකි බැවින් මෙම පුරාවිද්‍යා කැනීම පිළිබඳ දළ අවධානයක් මීලගට යොමුකළ හැකි වේ. මේ සඳහා ඉරණමඩු සංකීර්ණයට අයත් බූන්දල ප‍්‍රදේශයේ ස්ථාන දෙකක සිදුකළ (බූන්දල වැල්ලේගංගොඩ – 49c හා බූන්දල පතිරාජවෙළ – 50a) පුරාවිද්‍යා කැනීම් පිළිබඳ ව අවධානය යොමුකරමු.

පළමු ස්ථානය – බූන්දල, වැල්ලේගංගොඩ (49c)

දකුණු ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශයට අයත් මෙම ස්ථානයේ ඇති බොරළු තට්ටුව වර්තමාන මුහුදු මට්ටමට වඩා ආසන්න වශයෙන් මීටර් 8ක් පමණ උසින් පිහිටා තිබූ අතර එය දළ වශයෙන් මීටර් 4ක ඝණ වැලි තට්ටුවකින් වැසී තිබිණ. මෙම ස්ථානයේ සිදුකළ කැනීම් පරිශ‍්‍රයේ දිග හා පළල මීටර් 1.8×1.8 බැගින් විය. මෙම ස්ථානයේ ආචාර්ය සිරාන් දරණියගල මහතා විසින් සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම මගින් පස් තට්ටු කීපයක් හඳුනාගත හැකි වූ අතර මෙම ස්තර මඟින් මනුෂ්‍ය ජනාවාසයක් පිළිබඳ සාධක අනාවරණය විය. මෙහි ප‍්‍රධාන වශයෙන් පස් තට්ටු තුනක් පැවති බව හඳුනාගැනමට හැකි විය. මෙම බොරළු තට්ටුවෙන් හමු වූ ගල් මෙවළම් කාලයේ පීඩනයට හසු වී ජීර්ණය වීමට ලක් වී පැවති බැවින් ඒවායේ පැවති විශේෂ ලක්‍ෂණ හෝ ගුණාංග හඳුනාගැනීම අපහසු විය. එහෙත් ඒවා නියත වශයෙන් ම ප‍්‍රාග්ඓතිහාසික මෙවලම් වශයෙන් පුරාවිද්‍යාඥයන්ගෙ අවධානයට ලක් විය.

49c බූන්දල වැල්ලෙගංගොඩ පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ කැනීමේ පැතිකඩ සටහන

මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් පරිශ‍්‍රයේ පාංශු ස්තරණය (Stratigraphy at Site 49c) පහත පරිදි හඳුනාගත හැකි වේ. මෙම විස්තර ආචාර්ය සිරාන් දැරණියගල මහතා වසින් රචිත් ඡුරු ග‍්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද බව සලකන්න.

I bed-rock

II basal gravels

III sandy loam of Red Latosol

X recent drifting sands

X – සෙන්ටී මීටර් 6ක් ඝණකම මෙය මතුපිට වර්ෂා තැම්පතුවයි

III – මට්ටම් 13ක් යටතේ අධ්‍යයනය කර ඇත. මෙය දළ වශයෙන් සෙන්ටි මීටර් 400ක් ඝණකම ස්ථරයකි

III – 1 සෙන්ටිමීටර් 30-42ක් වන මෙම තට්ටුව රතු ලැටසෝල් පසේ ඉහළ මට්ටමයි. සංයුතිය වැලි 70‍% රොන්මඩ 6‍% මැටි 20‍%

III – 2 සෙන්ටිමීටර් 30ක් වන මෙම ස්ථරය රතු ලැටසෝල් ස්තරයකි. සංයුතිය වැලි 58‍% රොන්මඩ 7‍% මැටි 35‍%

III– 3 විස්තරය 2 තට්ටුවට සමානය. සංයුතිය වැලි 57‍% රොන්මඩ 3‍% මැටි 40‍%

III – 4-9 විස්තරය පෙර පරිදිමය

III – 10 සංයුතිය වැලි 68‍% රොන්මඩ 8‍% මැටි 24‍%

III – 11 සංයුතිය වැලි 73‍්‍ර රොන්මඩ 11‍්‍ර මැටි 20‍%

III – 12 සංයුතිය වැලි 73‍% රොන්මඩ 8‍% මැටි 19‍%

III – 13 රතු ලැටසෝල් පසේ පහළ මට්ටමයි. සංයුතිය වැලි 72‍% රොන්මඩ 7‍% මැටි 21‍%

II – ඝණත්වය සෙන්ටිමීයර් 6-15 දක්වා වන බොරළු පදනම

I – ජීර්ණය වූ මව් පාෂාණය

දෙවන ස්ථානය – බූන්දල පතිරාජවෙළ (50a)

මෙම ස්ථානයේ ව්‍යාප්ත වී ඇති පතුලේ බොරළු තට්ටුව වත්මන් මුහුදු මට්ටමට වඩා මීටර් 15ක් පමණ උසින් පිහිටා ඇත. මෙම බොරළු තට්ටුව වසර 125,000ක් පැරණි විය හැකි බවට නිරපේක්‍ෂ කාලනීර්ණ විධි අනුව තක්සේරු කොට ඇත. මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම මගින් ද එම කාලය හා සමාන්තර විය හැකි පුරාශිලා යුගයට අයත් සාධක ලැබී ඇත. ඉන්දියාවේ භෞතික විද්‍යා පර්යේෂණාගාරයේ සේවයේ නියුතු ව සිටි ආචාර්ය සිංවි විසින් මෙම බොරළුවලට පසු ව තැම්පත් වූ වැලි තට්ටුව තාපසම්දිප්තතා කාලනීර්ණ ක‍්‍රමවේදය අනුව කාලනීර්ණය කොට ඒවා අදින් වසර 74,000-64,000 කාලයට අයත් බවට නීර්ණය කොට ඇත. මෙම බොරළු තට්ටුවෙන් ලැබුණු ගල් මෙවලම් අතර ජ්‍යාමිතික නොවූ තිරුවාණා ක්‍ෂුද්‍රශිලා මෙවලම් ද විය. මෙම ස්ථානයේ වන පස් තට්ටුවේ එක් මීටරයක් තැම්පත් වීම සඳහා කාලය වසර 3,500 බැගින් ගෙන ගනනය කළ විට මෙම පස් තට්ටුවේ පහළම අවස්ථාව අදින් වසර ලක්‍ෂ 5ක් දක්වා ඇතට ගමන් කළ හැකි බව ආචාර්ය සිරාන් දැරණියගල ගේ තක්සේරඅව වී ඇත.

50a ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් 50a ක්ෂේත්‍රයේ කැනීම් පරිශ්‍රයේ පැතිකඩ

මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමෙන් අනාවරණය වූ පාංශු ස්තරණය (Stratigraphy at Site 50a) පහත පරිදි වේ.

I bed-rock

II basal gravels

III sandy loam of Red Latosol

IV stratum of lagoon molluscs

V colluvial red latosolic loam

X recent drifting sands

මෙම ස්ථානයෙන් හමු වූ ගල් මෙවලම් අතර වූ පතිරාජවෙල කුඩා පතුරු මෙවලම් සාධක මෑත පූර්ව 125,000-75,000 හා බූන්දල වැල්ලේගංගොඩ දි මෑත පූර්ව ca. 80,000 කාලයට අයත් වන බව කාලනීර්ණ අනුව පෙන්වා දි ඇත. මෙම ගල් ආයුධ නිර්මාණය කළ ජනයා ආදි ම හොමෝ සේපියන් මිනිසුන් විය හැකි ය.

ඉරණමඩු පාංශු සංකීර්ණයෙන් හමු වූ කුඩා ගල් ආයුධ

මෙම පුරාවිද්‍යා කැනීම් මඟින් මෙම කාලයට අයත් ගල් මෙවලම් හැරෙන්නට වෙනත් කිසිදු සංස්කෘතික හා මානව විද්‍යාත්මක සාධකයක් හමු වී නැත. මෙම ප‍්‍රදේශයේ පැවැතුණු හා පවතින නිවර්ථන දේශගුණ තත්ත්වය හා කාලය යන සාධක විසින් මෙවැනි සාධක සම්පූර්ණයෙන් ම පාහේ විනාශ කර දමා ඇත. අනෙක් අතට මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ පරාග වැනි ඉතා සියුම් සාධක ලබාගත හැකි සූක්‍ෂම හා සියුම් වර්ධිත තාක්‍ෂණ විධික‍්‍රම භාවිත කරමින් සිදුකර නොමැති වීම ද යම් යම් සාධක ග‍්‍රහනය කරගැනීම සඳහා බාධාවක් වශයෙන් පවතින්නට ඇත. එ සේ නමුත් ඉදිරියේ දියත් කිරීමට අපේක්‍ෂිත පුරාවිද්‍යා අධ්‍යයනයන් ගේ දී මේ කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් සියුම් ආකාරයේ පර්යේෂණ මාලාවක් දියත් කිරීමට ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ උපදේශකත්වය යටතේ ජාත්‍යන්තර සහයෝගය සහිත පර්යේෂණ මාලාවක් දියත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කරමින් පවති.

ඉරණමඩු පාංශු සංකීර්නයෙන් හමු වූ මධ්‍යම ප්‍රමාණයේ ගල් ආයුධ

මෙම යුගය ලංකාවේ වියළි කලාපයේ ජනගහණ ගණත්වය වර්ග කිලෝමීටරයකට 0.8-1.5 අතර පවතින්නට ඇත. තෙත් කලාපයේ දී මෙය වර්ග කිලෝ මීටරයකට මානවයන් 0.3කට වඩා අඩුවෙන් සිටින්නට ඇත. ඒ අනුව තෙත් කලාපයට සාපේක්ෂ ව තෙත් කලාපයේ පැවති ඇත්තේ අඩු ජනගහනයකි. මෙම කරුණු දකුණු ආසියාතික හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ ජීවත් වන දඩයක්කාර රැස්කරන්නන් පිළිබඳ වූ මානවවංශ විද්‍යාත්මක දත්ත ඇසුරෙන් ගණන් බලා ඇත.

ඉරණමඩු පාංහු සංකීර්ණයෙන් හමු වු විශාල ගල් ආයුධ

ඉරණමඩු පාංශු සංකීර්ණයේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව අවම වශයෙන් අවසන් වසර ලක්‍ෂ කීපය තුළ උෂ්ණ අවධිවල වර්ෂාපතනය අධික තෙත් දේශගුණයක් පැවැතුණු බවත් ශීත අවධිවල වියළි දේශගුණ ස්වාභාවයක් තිබුණු බවත් පැහැදිළි වී ඇත.

ආහාර වශයෙන් ගත්තා යැයි සිතීමට හැකි ශාකමය අවශේෂ කිසිවක් මෙම අධ්‍යයන තුළින් අනාවරණය වි නොමැති බැවින් ඒ පිළිබඳ කිසිදු අදහසක් ඇතිකර ගැනීමට හැකි වී නැත. නිවර්ථන පරිසර තත්ත්වය අනුව මේවා කිසිවක් රතුවන් දුඹුරු කලාපයේ එළිමහන් ස්ථානවල ආරක්‍ෂා වී නොමැති බව මීට ඉහත දී ද දක්වා ඇත. අනෙත් අතට පෙර සඳහන් කළාක් මෙන් මෙම පර්යේෂණ ඔස්සේ මෙම ස්ථානවල මේ සම්බන්ධ ව ප‍්‍රමාණවත් නියැදි එක්රැස්කර නොමැති වීමත් මෙයට හේතු විය හැකි ය.

ඉන්දීය භූ ස්කන්ධය හා ලංකා බිම්කඩ අතර වූ ගොඩබිම් පාලම (අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද ඡායාරූපයකි)

මෙම ලිපිය ආරම්භයේ දී සටහන් කර ඇතිවාක් මෙන් ඉන්දීය අර්ධද්විපික කලාපයෙන් පුරාශිලා යුගය පිළිබඳ සාධක රැසක් ලැබී ඇත. ඒ අතර ගල් ආයුධ මෙන් ම මානව සැකිලි සාධක ද පවතින බව පෙනී යයි. ඒ අනුව නිශ්චිත ලෙස ම පුරාශිලා යුගය පිළිබඳ ව සාධක සපයන ඉන්දිය භූමියේ සිට විවිධ අවස්ථාවල දී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් පැවති භූමි පාලම ඔස්සේ සතුන් මෙන් ම මිනිසුන් ද දෙරට අතර සංක‍්‍රමණය වූ බව උපකල්පනය කිරීමට හැකි වේ. අවසාන අවුරුදු දශලක්‍ෂය තුළ දි අවම වශයෙන් අවුරුදු 8 ලක්‍ෂයක්වත් මුහුදු මට්ටම පහත් වීම හේතු කොටගෙන ලංකාව හා ඉන්දියාව යන දෙරට එක ම භූමිප‍්‍රදේශයක් ව පැවතුණු බව භූ විද්‍යාඥයින් ගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ උතුරු දිග හා ගිණිකොණ දිග වෙරළබඩ ප‍්‍රදේශයන් ගේ පිහිටා ඇති වැලිවැටි ඇසුරේ අදින් වසර 300,000 හෝ ඇතැම් විට 500,000 පමණ විය හැකි සාධක අඩංගු විය හැකි බව ආචාර්ය සිරාන් දැරණියගල විසින් මීට වසර ගණනාවකට පෙර සටහන් කර ඇත.

ලංකාවේ මානවයා ජීවත් වූ බවට පැරණි ම සාධක අනාවරණය වී ඇත්තේ ඉරණමඩු සංකීර්ණයේ උතුරු කලාපයේ ය. මේවා සාපේක්‍ෂ වශයෙන් අදින් වසර 500,000 කාලයට කාල නීර්ණය කළ හැකි වෙයි. ගිණිකොණදිග ලංකාවේ පිහිටි මිනිහාගල්කන්ද ප‍්‍රදේශයෙන් අනාවරණය වූ මානව වාසස්ථාන පිළිබඳ සාධක අදින් වසර 250,000 කාලයට සාපේක්‍ෂ වශයෙන් කාලනීර්ණය කළ හැකි වෙයි.

යාපනය පේදුරුතුඩුව ආසන්නයේ පිහිටි මානිපායි ප‍්‍රදේශයේ විවපරිමලෙයි හුණුුගල් ගුහා

පසුගිය 2010 වර්ෂයේ දී ලංකාවේ යාපනය ප‍්‍රදේශයෙන් අනාවරණය වූ සාධක කීපයක් නිසා ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ කථිකාව පරිවර්තනීය ස්වාභාවයකට පත් ව ඇත. එ නම් 1984 දී යාපන සරසවියේ මහාචාර්ය වරයෙකු වූ සෙල්ලයියා ක‍්‍රිෂ්ණරාජ් මහතා විසින් යාපනය පේදුරුතුඩුව ආසන්නයේ පිහිටි මානිපායි ප‍්‍රදේශයේ විවපරිමලෙයිහි සිදුකළ කැනීමකදි හමු වූ ගල් ආයුධ කීපයක් ලැබී ඇත. මේවා කැපුම් ආයුධ වර්ගයක් වන අත්පොරෝ ආයුධ වන අතර කහඳ පාෂාණයෙන් සකස් කර ඇත. මෙම ගල් ආයුධ හමු වූ ස්ථානය හුනුගලින් නිර්මාණය වූ ගල්ගුහාවලින් සමන්විත ස්ථානයකි. මෙම ගල් ආයුධ 2010 වර්ෂය වනතෙක් ඒ පිළිබඳ විශේෂඥයින් වෙත යොමු කිරීම මඟහැරී ඇත්තේ එ වකට පැවති ත‍්‍රස්තවාදි යුද්ධය හේතුවෙන් මෙ පිළිබඳ අවස්ථාවක් නොමැති වූ බැවිනුයි. එහෙත් ත‍්‍රස්තවාදි කැරැල්ල නිමා වී 2010 වසරේ දී මෙම ප‍්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා අධ්‍යයන චාරිකාවක් අතරතුර දී ප‍්‍රාග් ඓතිහාසික ගල් ආයුධ පිළිබඳ විශේෂඥයකු වූ පුරාවිදයා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා වෙත මෙම ගල් ආයුධ ලබා දී ඇත. ඒ අනුව සිදුකළ නිරීක්‍ෂණ අනුව ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් මේ ගල් ආයුධ ඇචුලියාන් සම්ප‍්‍රදායට අයත් අත්පොරෝ ආයුධ වශයෙන් මේවා හඳුනාගනු ලැබ ඇත. ඉන් අනතුරු ව මෙම ගල් ආයුධ ආසියානු කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා වෙත යොමුකරනු ලදුව උක්ත නිගමන ඒ මහතා විසිනු ද තහවුරු කෙරී ඇත. ඒ අනුව මෙම ගල් ආයුධ අදින් වසර ලක්‍ෂ 5-16 අතර කාලයේ ජීවත් වූ හොමෝ ඉරෙක්ටස් (Homo erectus) මානවයා විසින් භාවිත කරන ලද ලෝක ව්‍යාප්ත සංස්කෘතියක් වූ ඇචුලියානු සම්ප‍්‍රදාය නියෝජනය කරන බව අනුමාණ කෙරේ. මේ දළ නිගමනය අනුව මෙම ගල් ආයුධ පහළ පුරාශිලා යුගයට අයත් විය හැකි වේ. ඒ අනුව මෙතෙක් සිතා නොසිට ආකාරයෙන් ඇචුලියානු අත්පොරෝ සම්ප‍්‍රදාය ලංකාව තෙක් ව්‍යාප්ත

යාපනය ආසන්නයේ පිහිටි මානිපායි පුරාවිද්‍යා ස්ථානයෙන් හමු වූ ඇචූලියානු අත්පොරෝ යැයි සැලකෙන ගල් ආයුධ

වී ඇති බවක් මෙයින් අනාවරණය වෙමින් පවති. මේ පිළිබඳ ස්ථිර හා පැහැදිළි නිගමනයකට එළැඹිම සඳහා මෙම සාධක කිසිසේත් ම ප‍්‍රමාණවත් නොවේ. එ බැවින් මේ පිළිබඳ ව පරික්‍ෂා කිරීම සඳහා විධිමත් හා ක‍්‍රමානුකූල පුරාවිද්‍යා පර්යේෂණ මාලාවක් දියත් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි ඉලක්ක අතර පවති.

මෙම ලිපියේ දී පෙන්වා දුන් ආකාරයට ලංකාවේ මානව ජනාවාසයන් ගේ ආදිම අවස්ථාව පුරාශීලා යුගය මගින් සටහන් කෙරේ. ඒ අනුව ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ කඩතොළු සහිත වුවත් නිශ්චිත සාධක ලැබෙන ආකාරය පුරාවිද්‍යා අධ්‍යයන අනුව පෙන්වා දිය හැකි වේ. කෙසේ නමුත් මෙම අවධිය හා ඒ කාලයේ ජීවත් වූ මිනිසා පිළිබඳ වඩාත් තියුණු අදහසක් ඇතිකර ගැනීම සඳහා තවතවත් පුරාවිද්‍යා හා පුරාවිද්‍යාව තදාශ‍්‍රිත අවශේෂ පර්යේෂණ දියත් කිරීම අත්‍යාවශ්‍යව පවති.

මීලග ලිපියෙන් . . . ශ‍්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන අවධිය . . . .

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 5 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සාමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

චන්දිම බණ්ඩාර අඹන්වල

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව අවධානය යොමුකරන විට එහි අවසාන අවධිය වශයෙන් නූතන අවධිය හඳුනාගත හැකි වේ. මෙම අවධියේ ආරම්භක අවස්ථාව වශයන් ක‍්‍රිස්තු වර්ෂ 1969 හඳුනාගත හැකි වේ. 1696 න් පසු අවධියේ දී ලංකාවේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කාර්යයන් හා ඒවායේ ප‍්‍රතිඵල නිරීක්ෂණය කරන විට මෙම අවධිය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන්ගේ ස්වර්ණමය අවධිය වශයෙන් නම් කළද වරදක් නැත. ආචාර්ය සිරාන් දැරණියගල විසින් මෙතෙක් ලංකාවේ ක‍්‍රියාත්මක වූ පුරාවිද්‍යා කැනීම් ක‍්‍රම හා පර්යේෂණ විධික‍්‍රම විප්ලවීය ලෙස වෙනස් කිරීමේ අඩිතාලම වූ අනුරාධපුර ඇතුළු නගරයේ ගෙඩිගේ ප‍්‍රදේශයේ සිදුකළ කැනීම 1969 වසරේ දී ආරම්භ කිරීම මෙම පරිච්ඡේදයේ සමාරම්භක සංසිද්ධිය වශයෙන් හඳුනාගත හැකි වේ. මෙම අවධියේ සිටින තීරණාත්මක හා ප‍්‍රබල ම සම්පත් දායකයා වන්නේ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයි. ඊට අමතර ව නිදහස් අධ්‍යාපනය විසින් බිහිකරන ලද ලාංකේය පුතුන්ගේ දායකත්වය ද මෙම යුගයේ දී බොහෝ දුරට හඳුනාගත හැකි වේ. මෙම අවධියේ ආරම්භක කොටසේ දී ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සම්පූර්ණයෙන් ම පාහේ රාජ්‍යය ආයතනයක් වශයෙන් ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මත රදා පැවති බවක් හඳුනාගත හැකි අතර මෙම සියලු ම ක‍්‍රියාකාරකම් සඳහා ආචාර්ය සිරාන් දැරණියගල මහතා ප‍්‍රමුඛ වී ක‍්‍රියාකළ බව දැකගත හැකි වේ. විදේශීය විශේෂඥ පර්යේෂකයින්ගේ දායකත්වයක් ද දැකගත හැකි අතර එම දායකත්වය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි හෝ එහි සහසම්බන්ධ පුරාවිද්‍යා පර්යේෂණ ඉලක්ක කරගනිමින් සිදු වී ඇත. 1990 දශකයෙන් පමණ පසු ව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන්ගෙන් යම් ප‍්‍රමාණයක් කැලණිය විශ්වවිද්‍යාල යේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කේන්ද්‍ර කරගනිමින් සිදුවන බවක් ද හඳුනාගත හැකි වේ.

මෙම අවධියේ පර්යේෂණයන්ගේ ක‍්‍රියාකාරිත්වය හා දිශානතිය හඳුනාගැනීම සඳහා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන්ගේ විෂයානුබද්ධ ක‍්‍රියාකාරකම් හඳුනාගැනීම ද වැදගත් වේ. එ බැවින් මෙයින් ඉදිරියට ආචාර්ය සිරාන් දැරණියගල හා ඔහු විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය අරඹයා සිදුකර ඇති කාර්යයන් පිළිබඳ ව සැකෙවින් අවධානය යොමු කිරීම වැදගත් වේ.

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා

මින් ඉහත ලිපියෙන් සාකච්ඡා කළ ආචාර්ය පි.ඊ.පි. දැරණියගල මහතා හා ප‍්‍රීනි මොළමුරේ පිය හා මව් කොටගෙන සිරාන් දැරණියගල 1942 මාර්තු 1 වැනි දින උපත ලැබී ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලබාගැනීමෙන් පසු ව වාස්තු විද්‍යාව, සංස්කෘත භාෂාව හා ලතීන් භාෂාව යන විෂය තුනෙන් ශාස්ත‍්‍රවේදි උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයන් 1963 දී ලබාගන්නා ලදී. ශාස්ත‍්‍රපති උපාධිය ද එම සරසවියෙන් ම ද 1966 දී ලැබීමට සමත් විය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබූ අතර මෙහි දි ඔහු වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යාට හිමි වන ‘ගෝර්ඩන් චයිල්ඞ්’ ත්‍යාගය දිනා ගැනීමට සමත් විය. 1964 සිට 1976 දක්වා එංගලන්තය, ප‍්‍රංශය හා ඉන්දියාව වැනි රටවල දි ප‍්‍රමුඛ ඝණයේ පුරාවිද්‍යාඥයන් යටතේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ඳයෙන් ප‍්‍රායෝගික හා න්‍යාත්මක අවබෝධයක් ලැබීමට අවස්ථාව විය. 1968 දි දිවයිනට පැමිණි ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් හා ගවේෂණ සහකාර අධ්‍යක්‍ෂක වශයෙන් පත්විය. වැඩි විස්තර සඳහා මෙම ලේඛකයා ඇතුළු පිරිස විසින් ආචාර්ය සිරාන් දැරණියගල සමඟ දිනිති – ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව විද්‍යුත් සඟරාව වෙනුවෙන් සිදුකළ සංවාදය හා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ හා සිරාන් දැරණියගල හිසින් යුතු ලිපිය කියවන්න.

Prehistory of Sri Lanka Prehistory of Sri Lanka : An Ecological Perspective කෘතිය

ලබාගත් බෙල්ලන් හා අස්ථී පිළිබඳ ව නැවත පරික්‍ෂා කරමින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ ක්‍ෂේත‍්‍රයට ප‍්‍රවේශ වූ සිරාන් දැරණියගල 1969 වසරේ දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප‍්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමේ සිට විවිධ වූ ප‍්‍රාග් ඓතිහාසික, පොටෝ හා මූල ඓතිහාසික පර්යේෂණ දියත් කළ අතර තවදුරටත් සක‍්‍රීය ව එ් සදහා දායක වෙමින් සිටීxතම පියා ගේ පියවර අනුව යමින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවියෙන් 1988 දි දර්ශනසූරි/ආචාර්ය උපාධිය ලබාගන්නේ එදාමෙදාතුර ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව අරඹයා ආසියානු කළාපයෙන් බිහි වූ විශිෂ්ට ම ආචාර්ය උපාධි නිබන්දනයක් සේ සැලැකෙන Prehistory of Sri Lanka : An Ecological Perspective නම් නිබන්ධය ඉදිරිපත් කරමිනි. (මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මරණ නිබන්ධ මාලාවේ 8 වැන්න ලෙස කොටස් දෙකකින් ප‍්‍රකාශයට පත් වී ඇත. මෙම කෘතහස්ත කෘතිය ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ගුරු අත්පොත වශයෙන් විද්වතුනගේ ගෞරවයට ලක් වී ඇත.

1969 න් පසු යුගයේ දි සිරාන් දැරණියගල විධිමත් හා නවීන දියුණු ක‍්‍රම පදනම් කොටගත් සංවිධානාත්මක අධ්‍යයන වෙත යොමු විය.ඒ අනුව, අනුරාධුපර ඇතුළුනගරයේ කැනීම සිදුකිරීමට පළමු ව සිරාන් දැරණියගල මහතා විසින් එ වකට විද්‍යමාන වූ සියලු ම ප‍්‍රාග් ඓතිහාසික දත්ත අ. න්‍යායවාදි මූලාංග, ආ. කාලානුක‍්‍රම විද්‍යාව, ඇ. තාක්‍ෂණය, ඈ. ආජීවය, ඉ. ජනාවාස, ඊ. කලා හා සැරසිලි, උ. වත්පිළිවෙත්, ඌ. සමාජ සංවිධානය එ. භෞතික මානවවිද්‍යාව හා ඒ. පුරා පරිසරය යන මාතෘකා යටතේ විමර්ශනයට භාජනය කිරීම ඇරැඹිණ. එනම් එතෙක් විවිධ පර්ේ‍යෂකයින් විසින් එක්රැස්කර තීබූ දත්ත විධිමත් පදනමක් අනුව විශ්ලේෂණය කිරිම සිදුකර ඇත. මෙය පසුව දියත් කිරීමට අපෙක්ෂිත සැලසුම්සහගත පර්යේෂණ මාලාව විධිමත් හා පැහැදිළි මාවතක් ඔස්සේ දියත් කිරීමට අවශ්‍ය පැහැදිළි මඟපෙන්වීම සිදුකරන ලද බව පෙනි යයි.

ඊ. ජේ. වෙලන්ඞ්, පී.ඊ. පී. දැරණියගල වැනි පූර්ව ගවේශකයන් හඳුනාගෙන අධ්‍යනයට පාත‍්‍ර කරන ලද ඉරණමඩු පාංශු සංගතිය හා අනාකූල වූ ගුහා නිධි යන වර්ගද්වය ඔස්සේ මූලික ගවේශන හා කැනීම් සඳහා මූලාදර්ශ සපයාගන්නා ලදි. ලක්දිව මෙතෙක් නුවූ පරිදි තැම්පත් වී ඇති පස් තට්ටු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පුරාවිද්‍යා කැනීම් සිදුකරන ලදී. ලොක පුරාවිද්‍යාවේ කැනීම් හා සංසන්දනය කිරීමේ දීත් මෙම පියවර විශිෂ්ට ඉදිරි පියවරක් වශයෙන් නම් කළ හැකි වේ. මෙම පුරාවිද්‍යා කැනීම් තුළ දී සංසිද්ධිගත අංක ගත යෙදීමේ ක‍්‍රමය ආදේශ කරමින් විධිමත් අයුරින් කැනීම් සිදුකළ ඇතර එමගින් කැනීම මගින් ලබාගත හැකි සෑම සාධකයක් ම ලබාගත හැකි පරිදි කැනීම් ව්‍යාපෘති සංවිධානය කොට දියක් කෙරිණ. මෙම ආකාරයට පළමු ව ලංකාවේ ස්ථාන තුනක කැනීම් ව්‍යාපෘති මුල් කරගත් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිදයා අධ්‍යයන දියක් කර ඇත. ඒවා නම්;

අ. බූන්දල-වැල්ලේගංගොඩ මීටර් 8ක් ඝණකම් වූ රක්ත ලැටසෝල් බවට ජීර්ණය වූ පෞරාණික වෙරළබඩ වැලි කඳු වලින් වැසුණු කලාපීය ස්ථතික බොරළු ටෙරසය

ආ. පතිරාජවෙල-වේලාන්ත වැලිකඳු වල රක්ත ලැටසෝල් මඟින් යට වූ මීටර් 15ක් ගණකම් වූ බොරළු ටෙරසය

ඇ. බූන්දල-ලේවාගංගොඩ මීටර් 25 දි පමණ රක්ත ලොටොසෝල් මඟින් වැසුණු බොරළු සහිත බිම යන ස්ථාන මූලික අධ්‍යයන ඉලක්ක විය.

ස්තරගත කැනීම් ක‍්‍රමය සිරාන් දැරණියගල මහතා විසින් ප‍්‍රථම වතාවට 1969 දි අනුරාධපුර ඇතුළු නුවර දි යොදාගත් අතර 1970 දි බෙල්ලන්බැදිපැළැස්ස මෙසෝලිතින ජනාවාසය සම්බන්දයෙන් ද එම ක‍්‍රමවේදය අනුගමණය කෙරිණ.

මෙතෙක් රට තුළ නොපැවති අයුරින් දේශීය ප‍්‍රාග් ඓතිහාසික සාදක සම්බන්ධයෙන් පරිසර සාදක බලපා ඇති ආකාරය පිළිබඳ අවධානය යොමුකරමින් මෙන් ම භූ විද්‍යාත්මක සංසිද්ධින් දේශිය ප‍්‍රාග් ඉතිහාසයට බල පා ඇති ආකාරය පිළිබඳ ව ද වැදැගත් අවදානයක් යොමු කෙරිණ. චාතූර්ථික අවධියේ භූ ක‍්‍රියාකාරකම් පිළිබඳ ව එහි දි වැඩි අවධානයක් යොමු කෙරිණ. බහු විෂයාත්මක මෙන් ම අන්තර් විෂයාත්මක දෘෂ්ටියකින් යුක්ත ව දේශිය ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ක‍්‍රමවත් මාවතක් ඔස්සේ මෙහෙය වීම ද සිරාන් දැරණියගල මහතා අතින් සිදු වූ කාර්යයකි. ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සම්බන්ධයෙන් මෙතෙක් මෙ වැනි පුළුල් ප‍්‍රවේෂයකින් අවධානය යොමු කර ඇති බවක් හඳුනා ගැනීම අපහසු වේ. මේ වන විට යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය මුල්කොට ගනිමින් විදේශයන්හි වර්ධනය වෙමින් තිබූ දැනුම හා තාක්‍ෂණය ලබාගැනීම ද අරමුණු කොට ගනිමින් විවිධ විදේශීය විද්‍යාර්ථීන් සමඟ ඒකාබද්ධ අධ්‍යයන වැඩසටහන් දියත් කරන ලදි. ඒ අනුව සුප‍්‍රසිද්ධ භෞතික මානවවිද්‍යාඥයෙකු වූ කෙනත් ඒ. ආර්. කෙනඩි වැනි විද්වතුන් ගේ දයෙකත්වය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සඳහා ලබාගැනීමට හැකි වූ බව පෙනී යයි. ලංකාව හා ආසන්න රටවල් වශයෙන් ඉන්දියාව, ජාවා සුමාත‍්‍රා, ඔිස්ටේ‍්‍රලියාව ආදි රටවල් හා සම්බන්ධ අධ්‍යයන දියත් කිරීම ද ආචාර්ය සිරන් දැරණියගල මහතා විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව දකුණු ඉන්දීයාවේ වෙරළාසන්න ප‍්‍රදේශවල පැතිරී ඇති රතු පස් සැකස්ම වූ තෙරී ක්‍ෂේත‍්‍ර (Terri Sites) හා ඒ හා සමාන ලංකාවේ රතු පස් සැකැස්ම (ඉරණමඩු පස් සැකැස්ම – IFm) පිළිබඳ ව සංසන්දනාත්මක අධ්‍යයනය දියත් කොට ඒවා අතර සාම්‍යතාව පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය. ලංකාවේ මධ්‍යශිලා මානවයා පිළිබඳ අධ්‍යයනයන්හි දි වැදැගත් වන විදේශීය ප‍්‍රාථමික මානව ගෝත‍්‍ර වන කදාර්, මලපන්දම්, වෙන්චු, සේමෑන් ආදි ජන කොටස් පිළිබඳ ව සංසන්දනාත්මක මානවවංශවිද්‍යා අධ්‍යයන දියත් කිරීම ද කැපී පෙනෙන කටයුත්තක් වේ. මේ අවස්ථාව වන විට ලංකාවේ වෙරළබඩ කලාපය, මහඑළිය (Hortain Plain) වැනි මධ්‍යම කඳුකර ප‍්‍රදේශ මෙන් ම තෙත් කලාපයේ විවිධ ස්ථාන පිළිබඳ වත් අධ්‍යයන සිදුකරන ආකාරය හඳුනාගත හැකි වේ.

මෙම වැඩසටහන් උදෙසා විධිමත් කැනීම් හා ගවේෂණ කණ්ඩායමක් දැරණියගල විසින් සකසාගත් අතර ඔහු යටතේ සහකාර නිළධාරින් ද සම්පත් පුද්ගලයන් බවට පත් කිරීම ද වැදැගත් කරුණකි. මෙ වැනි ආකාරයෙන් මෙම විෂය උදෙසා විධිමත් ආකාරයෙන් පසු පර්යේෂණ කණ්ඩායමක් සකස් කරගත් ආකාරයක් මින් ඉහත පර්යේෂකයින් සම්බන්ධයෙන් හඳුනා ගැනීම අපහසු වේ. ශිලා මෙවලම් වර්ගීකරණය, පාංශු ස්තර වින්‍යාස (soil stratification) අධ්‍යයන හා කාලනීර්ණ උදෙසා සාම්පල ලබාගැනීම ආදිය සදහා පුද්ගලයන් පුහුණු කිරීම කැපී පෙනේ. ඩබ්ලියු.එච්. විජේපාල, නිමල් පෙරේරා වැනි නිලධාරින් මෙන් ම ඇල්ෆ‍්‍රඞ් ඩි. ද මැල් වැනි බෙහෙවින් පෙළඹී ගිය අතිදක්‍ෂ කැනීම්කරුවන් ඒ අතුරින් කැපී පෙනේ.

ආචාර්ය ඩබ්.එච්. විජයපාල මහතා (වමේ), ආචාර්ය නිමල් පෙරේරා මහතා (මැද) හා මහාචාර්ය ගාමිණි අදිකාරි මහතා (දකුණේ)

ශ්‍රී ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ ව මෙතෙක් පැවති ගැටමුසු තැන් බොහෝ දුරට නිරාකරණය කිරීමට ආචාර්ය සිරාන් දැරණියගල ගේ අධ්‍යයන මගින් හැකි වී ඇත. ඉරණමඩු පස් සැකැස්ම, යාල වනෝද්‍යානය තුළ පිහිටා ඇති මිනිහාගල්කන්ද වැනි ස්ථානයන් ගේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ මඟින් දිවයිනේ පුරාශිලා අවධියක් (Palaeolithic) නිශ්චිත ව පැවැති බවත් එය අදින් වසර 125,000/250,000 පමණ දක්වා දිව යා හැකි බවත් ආචාර්ය සිරාන් දැරණියගල මහාතා විසින් පෙන්නුම් කරන ලදි. පී.ඊ.පී. දැරණියගල මහතා ගේ අවධානයට පාත‍්‍ර වූ හිමෙන් වැසී ගිය අවධියක් වූ ප්ලයිස්ටෝසීන අවධියේ පැවති පරිසරය හා මානව සංස්කෘතිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට හැකි විය.

ප්‍රවීන පුරාවිද්‍යා කැනීම් ශිල්පී ඇල්ප්‍රඩ් ඩි. මැල් මහතා

මේ සියල්ල ම අතුරින් වඩා වැදගත් වන්නේ මෙතෙක් කඩතොළු සිතුවමක් වශයෙන් පැවති ලංකාවේ මධ්‍යශිලා යුගය පිළිබඳ ව ඒ සියළු කඩතොළු තැන් පුරවාලමින් පරිපූර්ණ චිත‍්‍රයක් ඉඳිරිපත් කිරීමට ඔහු සමත් වීමයි. ලංකාවේ තෙත් කලාපයට අයත් (D පාරිසරික කලාපය) කිතුල්ගල ආසන්නයේ වූ බෙලි ලෙන, කුරුවිට ආසන්නයේ බටදොඹලෙන, බුලත්සිංහල ෆා-හියන් ලෙන, අත්තනගොඩ අළුලෙන, මහඑළිය (හෝර්ටන් තැන්න), ඇඹිලිපිටිය ආසන්නයේ වූ බෙල්ලන්බැඳිපැළැස්ස හා රාවණාඇල්ල ආදි ගුහා හා එළිමහන් ස්ථාන ආශ‍්‍රිත ව සිදුකරන ලද පර්යේෂණයන්ගෙන් හෙළි වූ දත්ත ආශ‍්‍රයෙනි. මධ්‍යශිලා මානවයාගේ ශරීර ස්වාභාවය නොහොත් භෞතික මානව විද්‍යාව, ආහාර හා ජනාවාස රටා, තාක්‍ෂණය, ආගමික හා අභිචාර හා ඔහු ජීවත් වූ පරිසරය වැනි මධ්‍යශිලා මානවයා හා සම්බන්ධ සියලූ ම කාරණා පිළිබඳ ව විධිමත් අයුරින් කරුණු ගොනු කිරීමට සමත් විය.

ආචාර්ය සිරාන් දැරණියගල මහතා දිවයිනේ අතීතය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ප්‍රොටෝ ඓතිහාසික යුගය හරහා ඓතිහාසික යුගය දක්වා විකාශය වීම තාර්කික අයුරින් පෙන්වා දිමට සමත් විය. නූතන මානවයා සම්බන්දයෙන් මුළුමහත් ආසියාවෙන් ම ලැබෙන පැරැණි ම සාධක ලංකාවෙන් ලැබෙන බව පෙන්වා දි ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීමට සිරාන් දැරණියගල මහතා මුල් වූ පුරාවිද්‍යා පර්යේෂණ මගින් හැකි වී ඇත. ලෝකයේ මුල් වරට දියුණු ම ජ්‍යාමිතික ක්‍ෂද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණයක් (වසර 32,000ක් පමණ පැරැණි) ලංකාවේ පැවැති බවට ස්ථිර සාධක ඉඳිරිපත් කිරීමට ද හැකි විය. මේ හා සමාන සාදක දැනට අනාවරණය වී ඇත්තේ අප‍්‍රිකානු මහාද්වීපයේ ස්ථාන අතළොස්සකින් හා නැගෙනහිර ආසියාවේ ස්ථානයකින් පමණි. මෙම සියලූ ම සාධක සමඟ ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් මෙතෙක් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු පර්යේෂකයෙක් නොකළ අයුරින් ප‍්‍රාග් ඓතිහාසික සමය සම්බන්ධයෙන් විධිමත් කාළක‍්‍රමා වලියක් ඉඳිරිපත් කිරීම ද කැපී පෙනෙන්නකි.

දිර්ඝ කාලයක් පුරා දේශීය ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ව පර්යේෂණයන් හි නියැළුනෙකු වශයෙන් විවිධ වර්ගීකරණ ඉදිරිපත් කරන ලද අතර ඒ අතුරින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් හමු වූ ගල් මෙවළම් ලක්‍ෂ 2ක් පමණ අධ්‍යයනය කිරීමෙන් ඉදිරිපත් කරන ලද ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් වර්ගීකරණය කැපීපෙනෙන වර්ගීකරණයකි.ලංකාවේ සිදුකර ඇති ගල්මෙවළම් වර්ගීකරණ මෙම වර්ගීකරණය හා සසඳා බැලීම මඟින් මෙම වර්ගීකරණයේ ඇති විශිෂ්ට බව තහවුරු කරගත හැකි වනු ඇත. මෙම වර්ගීකරණය තුළ දී ඕනෑම ගල් ආයුධයක් 1. ශිලා මෙවළම අයත් ක්‍ෂේත‍්‍රය, 2. නිෂ්පාදනය වූ ආකාරය, 3. බාහිර හැඩය, 4. කාර්යය, 5. භාවිතයේදි ඇතිවන ලක්‍ෂණ, 6. විශාලත්වය, 7. භාවිත කොටසේ හරස් කැපුම හා 8. අමුද්‍රව්‍ය යන සාදක අනුව සලකා බලනු ලැබේ. මෙම වර්ගීකරණය තුළ දී ලංකාවෙන් හමුවන ප‍්‍රාග් ඓතිහාසික ගල් මෙවළම් මූලික මෙවලම් වර්ග පංති (class) xixකටත් ඒවා තුළ ශිලා මෙවලම් මාඳිළි (type) 115කටත් බෙදා දක්වා ඇත. (ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල්මෙවළම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඉදිරි ලිපියකින් බළාපොරොත්තු වන්න.)

සියවසකට වඩා පැරැණි ශ්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ගමන් මෙඟ් නූතන යුගයේ තීරණාත්මක සම්පත් දායකයා වන සිරාන් දැරණියගල හතලිස් වසරකට ආසන්න කාල පරාසයක් තිස්සේ අධ්‍යයන හා පර්යේෂණයන්හි නියැලී ඇති අතර තව දුරටත් ප‍්‍රායෝගික හා උපදේශාත්මක මට්ටමින් නියැලෙමින් සිටී. දේශීය ප‍්‍රාග් ඉතිහාසය පමණක් නොව ප්‍රොටෝ හා මූල ඓතිහාසික කාලයන්ට ද අදාළ ව පර්යේෂණ රැසක් දියත් කොට ඇති අතර ම තව දුරටත් එවැනි පර්යේෂණයන්හි නියැලෙමින් සිටී. ඇමරිකන් ඇන්ත්‍රොපොලොජීස්ට් සඟරාව කියන්නාක් මෙන් ම දේශීය ප‍්‍රාග් ඉතිහාසය හැදෑරීමේ ගුරු අත්පොත වශයෙන් බොහෝ කාලයක් ඔහු සමිපාදනය කළ Prehistory of Sri Lamka: An Ecological Perspective ග‍්‍රන්ථය පවතිනවාක් මෙන් ම දේශීය ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන කෙතෙක් කල් පවතී ද ඒ තාක් කල් සිරාන් උපේන්ද්‍ර දැරණියගල හා ඔහුගේ මත ද වියතුන්ගේ අවධානයට පාත‍්‍ර වීම නොවැලැක් විය හැක්කකි.

වරකාපොල ආසන්නයේ පිහිටි දොරවකකන්ද, ඇතාබැඳිලෙන

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කැනීම් අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන් ම පසු ව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස සේවය කළ ආචාර්ය ඩබ්ලිව්.එච්. විජයපාල මහතා ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ මඟපෙන්වීම අනුව බුලත්සිංහල අසළ ෆාහියන්ලෙන, අත්තනගොඩ අළුලෙන, කිතුල්ගල බෙලිලෙන හා වරකාපොළ දොරවකකන්ද කැනීමට ලක්කරන ලදී. මෙ තුමා ව්සින් 1980 දී ලංකාවේ අස්ථි මෙවළම් පිළිබඳ ව වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලදි. එම අස්ථි මෙවළම් වර්ගීකරණය ආචාර්ය සිරාන් දැරණිගල මහතා විසින් ඉදිරිපත් කරන ලද ගල් ආයුධ වර්ගීකරණයේ ආභාසය ලැබී ඇති බව දැකගත හැකි වේ. වරකාපොල ආසන්නයේ පිහිටි දොරවකකන්ද ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් ඔස්සේ මෙතෙක් දිවයිනේ අවධානයට අව ම වශයෙන් යොමු වී පැවැති නවශිලා තත්ත්වයක් පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන ලදි. එතුමා විසින් සිදුකරන ලද පර්යේෂණ පිළිබඳ ව විස්තර තවමත් අප‍්‍රකාශිත එතුමා ගේ ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධය වන Mesolithic Stone Technology of Sri Lanka, A study of The Stone Implement from Beli-lena (Kitulgala), A Dissertation submitted for the MA (Archaeology) Examination held by the University of Peradeniya හා දර්ශනසූරි උපාධි නිබන්ධය වන New Light On The Prehistory of Sri Lanka; In The Context Of Resent Investigations At Cave Sites. A thesis submitted for the degree of Doctor of Philosophy of the University of Peradeniya (1997) යන පශ්චාත් උපාධි නිබන්ධයන්හි අන්තර්ගත වී ඇති අතර මෙම නිබන්ධන පේරාදෙණිය සරසවියේ ප‍්‍රධාන පුස්කකාලයේ උපාධි නිබන්ධ සංචිතයේ තැම්පත් කර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් ද ආචාර්ය සිරාන් දාරණියගල ගේ මඟපෙන්වීම හා උපදේශකත්වය සහිත ව පුරාවිද්‍යා කැනීම් කීපයක් සිදුකර ඇති අතර එයින් 2005 දි සිදුකළ කුරුවිට අසළ බටදොඹලෙන, ඇඹිලිපිටිය බෙල්ලන්බැදිපැලැස්ස හා හුංගම ආසන්නයේ මිණී ඇතිලිය වැනි ස්ථාන කැපී පෙනේ. එ තුමා විසින් සිදුකරන ලද පර්යේෂණයන් පිළිබඳ විස්තර බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා සංගමයේ ප‍්‍රකාශනයක් ලෙස 2010 වසරේ දී නිකුත් වූ Prehistoric Sri Lanka: Late Pleistocene rockshelters and an open-air site කෘතියේ අන්තර්ගත වී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (Postgraduate Institute of Archaeology – PGIAR) මහාචාර්ය ගාමිණි අදිකාරි මහතා විසින් ද මෑත යුගයේ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ කෙරෙහි වැදගත් දායකත්වයක් දක්වා ඇත. එ තුමා විසින් ලංකාවේ වියළි කලාපයට අයත් සීගිරිය ආසන්නයේ පොතාන, අලිගල හා පිදුරංගල ස්ථානයන්ගේ මෙන් ම තෙත් කලාපයට අයත් ගම්පහ පිළිකුත්තුව, ගම්පහ වාරණ හා ගම්පහ අත්තනගල්ල අලවල පොත්ගුල්ලෙන යන ස්ථාන වල සිදුකරන ලද ප‍්‍රාග් ඓතිහාසික පුරාවිදයා කැනීම් වැදගත් තැනක් හිමිකර ගනී. මෙ තුමා විසින් සීගිරිය හා තදාසන්න කලාපයේ සිදුකරන ලද ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන පිළිබඳ දත්ත හා තොරතුරු පුරාවිද්‍යා පශෟචාත් උපාධි ආයතනයේ පුස්තකාලයේ ඇති එ තුමා ගේ පශ්චාත් උපාධි නිබන්ධයන් ‍ගේ අන්තර්ගත වී ඇත. මහාචාර්ය ගාමිණි අදිකාරි විසින් ලංකාවේ මධ්‍යශිලා යුගයේ පසු කාලීන ලක්‍ෂණ පෙන්නුම් කරන යුගයක් වශයෙන් පශ්චාත් මෙසෝලිතික (Post-mesolithic) යුගය පිළිබද ව අදහස් ඉදිරිපත් කිරීම ද වැදගත් වෙයි.

ගම්පහ අාසළ අලවල පිහිටි පොත්ගුල්ලෙන

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ම පුරා උද්භිද විද්‍යාඥයෙකු වූ ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක මහතා විසින් ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධයෙන් වැදගත් වන පර්යේෂණ කීපයක් ම සිදුකර ඇත. පුරා උද්භිද විද්‍යාඥයෙකු (Palaeo-botanist) වූ ඒ මහතා විශේෂයෙන් ම ලංකාවේ චාතුර්ථික අවධියේ පුරාපාරිසරික විද්‍යාව පිළිබඳ ව පර්යේෂණ සිදුකරන ඔහු මහඑළිය (හෝර්ටන්තැන්න) ආශ‍්‍රිත ප‍්‍රදේශ වලින් අදින් වසර 13,000කට පමණ පූර්වයෙන් ධාන්‍ය වගාකොට ඇති බවට සාධක පුරා පරාග සාධක ඔස්සේ ගෙනහැර දක්වයි. එ නම් නවශිලා යුගයේ ක‍්‍රියාකාරකම් ලංකාවේ සිදු වූ බව විධිමත් පුරාශාක පිළිබඳ අධ්‍යයන ඔස්සේ තහවුරු කොට දක්වයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ වර්තමාන අවධියේ දී විවිධ පැතිකඩ අරඹයා පර්යේඹණ අවධානය යොමුවන ආකාරයක් ද හඳුනාගත හැකි වේ. ඒ අතුරින් ඉතා වර්ධිත මට්ටමකට පත් ව ඇති විෂයක් වශයෙන් පුරා සත්ත්ව විද්‍යාව (Archaeozoology) හඳුනාගත හැකි වේ. මූළික ව සත්ත්ව විද්‍යාඥයෙක් වූ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විසින් පදනම දමා ආරම්භ කරන ලද මෙම විෂය පසු ව කීට විද්‍යාඥයෙකු වූ පී.බී. කරුණාරත්න විසින් ඉදිරියට ගෙනඑන ලදී. මෙම විෂය වර්තමානයේ දී ඔහුගේ ශිෂ්‍යයකු වූ ප‍්‍රවීන සත්ත්ව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා විසින් වර්ධනය කරනු ලැබ ඇත. කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා ගේ ශිෂ්‍යකු වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වේ ජූඞ් පෙරේරා ද මෙම විෂයේ ප‍්‍රවීනත්වයක් ඇතිකර ගෙන සිටින බව පෙනී යයි. මහාචාර්ය ගාමිනි අදිකාරි මහතා ගේ මඟපෙන්වීම යටතේ කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා ගේ අධික්ෂණය යටතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාසත්ත්ව විද්‍යාව පිළිබඳ ඒකකයක් බිහිකිරීමට දක්වා මෙම විෂය වර්ධනය වී ඇත. මෙම විෂය අනුව ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතික සංචිත අතර පවතින ඔහුගේ පාරිභෝජනයට භාවිත වූ හෝ ඔහු වටා ජීවත් වූ විවිධ සත්ත්ව විශේෂ හා සත්ත්ව වර්ග විධිමත් ක‍්‍රමවේද අනුව හඳුනා ගැනීම හා අධ්‍යයන සිදුකිරීම සිදුකරනු ලබයි.

එ මෙන් ම, භු පුරාවිද්‍යාව ද ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් පෝෂණය කිරීමේ විෂයක් වශයෙන් අදවන විට විදේශිය භූ පුරාවිද්‍යාඥයින් ගේ මෙන් ම ලාංකේය වෘත්තීය හා යොවුන් භූ විද්‍යාඥයින් ගේ උනන්දුව නිසා වර්ධනය වන බව දැකගත හැකි වේ.

කුරුවිට ආසන්නයේ පිහිටි බටදොඹලෙන ගුහාව

මීට අමතර ව මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි වෙනත් සංවිධාන මෙන් ම විදේශීය ව්‍යාපෘති කීපයක් විසින් සිදුකරන ලද ගවේෂණ හා කැනීම් මඟින් ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට සමත් ව ඇත.

උක්ත ආකාරයෙන් සලකා බැලීමේ දී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණයන් ගේ නූතන අවධිය 1969 දි ආරම්භ වී මේ දක්වා ක‍්‍රියාත්මක වන බව හඳුනාගත හැකි වේ. මෙ වැනි වර්ධනයක් මෙම විෂය අත්කොට පැවතියත් වර්තමානය වන විට මෙම විෂට හා සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්ව ගණනාවක් ද හඳුනාගැනීමට හැකි වී තිබෙන අතර එම බාධකයන් ඍජු ලෙස ම විෂයය පද්ධතියක් වහයෙන් මෙම විෂය ගුණාත්මක අන්දමින් විකාශය වීමේ දී ගැටළුකාරී වී ඇති බවත් හඳුනා ගැනීමට පුළුවන. (මෙම ලේඛකයා විසින් සිදුකරන ලද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව : අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් පර්යේෂණ පත්‍රිකා සංක්ෂිප්තය කියවන්න.)

මෙම ලිපි පෙළේ අවසාන ලිපි තුනෙන් සාකච්ඡා කළ ආකාරයට වර්තමානයේ විශාල දැනුම් පද්ධතියක් දක්වා විකාශය වි ඇති ප‍්‍රාග් ඉතිහාසය පුද්ගලයින් ගණනාවකගේ බුද්ධිමය හා ශාරිරික ශ‍්‍රමය හා කැපකිරීම් රැසක් මධ්‍යයයේ සකස් වී ඇති බව හඳුනා ගැනීමට පුළුවන.

ඉදිරි ලිපියෙන් … ශ‍්‍රී ලංකාවේ පුරාශිලා යුගය ….

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 4 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතරමැදි අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතීතයේ පවත්නා ගුණාත්මක ලක්ෂණ අනුව අවස්ථා තුනකට බෙදා දැක්විය හැකි ආකාරය මෙයට ඉහත ලිපියේ දී සාකච්ඡාවට බඳුන් කරනු ලැබු අතර එයින් පළමු නැති නම් ආරම්භක අවධිය පිළිබඳ ව දැනටමත් සංක්‍ෂිප්ත අයුරෙන් සාකච්ඡා කරනු ලැබ ඇත. ඒ බැවින් ලංකා ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ ආරම්භක අවධියෙන් පසු අවධිය වන අතරමැදි අවධිය පිළිබඳ ව මෙම ලිපියේ දී අවධානය යොමු කරනු ලැබිය හැකි වේ.

දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ අතීතය අධ්‍යයනය කිරීමේ දි හමු වන දෙ වන අවස්ථාව වන අතරමැදි අවධියට අයත් ලක්ෂණ ක‍්‍රිස්තු වර්ෂ 1939-1969 කාලය තුළ පෙන්නුම් කරනු ලැබේ. මෙම අවධිය සම්බන්ධයෙන් හඳුනාගත හැකි වැදගත් ම ලක්ෂණය වනුයේ සෑම අතින් ම මෙම අවධිය සතු සංක‍්‍රාන්ති ලක්ෂණයි. ආරම්භක අවධිය සතු න්‍යයාත්මක ලක්ෂණ ද අඩුවැඩි වශයෙන් මෙම අවධියේ පවතින බව දැකගත හැකි අතර ම නූතන අවධීය වෙත ගමන් කිරීම සඳහා ස්ථිරසාර පදනමක් මෙම අවධියේ දී සැකසෙන බව ද හඳුනාගත හැකි වේ. දැකගත හැකි තවත් වැදගත් ම ලක්‍ෂණයක් වනුයේ, ආරම්භක අවධියේ දී දැකගත හැකි වූ ආකාරයේ වූ විදේශික පර්යේෂකයන්ගෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන දේශීය විද්වතුන් අතට හුවමාරු වීමයි. එ සේ නො මැති නම් මෙම අවධීයේ දී ලාංකේය විද්වතුන් ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන වෙක එළැඹෙන ආකාරය හා ඔවුන් ගේ දායකත්වයේ වර්ධනයක් දැකගත හැකි වේ. මෙතෙක් නොපැවති ආකාරයෙන් විධිමත්, සංවිධානාත්මක හා විශාළ පරිමාණයෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ දියත් වීම ආරම්භ වෙයි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වැනි විධිමත් හා සංවිධානාත්මක රාජ්‍ය ආයතන ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සඳහා පිවිසෙන බවක් ද දැකගත හැකි වේ.

p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk
අාචාර්ය පී.ඊ.පි. දැරණියගල මහතා

මෙම අවධියේ ප‍්‍රමුඛ පර්යේෂකයා වශයෙන් ක‍්‍රිස්තු වර්ෂ 1939-1963 කාලයේ දී කොළඹ ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂකවරයා වශයෙන් සේවය කළ ආචාර්ය පෝල් එඞ්වඞ් පීරිස් දැරණියගල (Paules Edward Pieris Deraniyagala 1900 – 1976) මහතා හඳුනාගත හැක. කීර්තිමත් ඉතිහාසඥයෙකු මෙන් ම විද්වතෙකු වූ ආචාර්ය පෝල් ඊ. පීරිස් (Paul Edwerd Pieris) මහතා ගේ පුත‍්‍රයෙකු වූ පී. ඊ. පී. දැරණියගල මහතා ක්‍ෂේත‍්‍ර ගණනාවක් කෙරෙහි දක්‍ෂතාවක් පෙන්නුම් කළ අයෙකි. සත්ත්ව විද්‍යාව ඔස්සේ මානව විද්‍යාවටත් එ තැනින් පුරාවිද්‍යාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන දෙසටත් අවතීර්ණ වූ මෙ තුමා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව කෙරෙහි දක්වා ඇත්තේ අතිශය වටිනා දායකත්වයකි. archaeology.lk වෙබ් කණ්ඩායම විසින් ප්‍රකාශයට පමුණුවනු ලබන ‘දිනිති – ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව’ විද්‍යුත් සඟරාව සඳහා කැළුම් නලින්ද මනමේන්ද-ආරච්චි මහතා විසින් රචනා කරන ලද පී.ඊ.පී. දැරණියගල මහතා පිළිබඳ ලිපිය (පසුගිය සියවසේ මෙරට බිහි වූ විශිස්ට විද්වතෙක්) කියවීමෙන් මෙ තුමා පිළිබඳ පෞද්ගලික විස්තර හා එ තුමා ගේ ශාස්ත‍්‍රීය සේවය පිළිබඳ දැනගැනීම හැකි වනු ඇත. පී. ඊ. පී. දැරණියගල මහතා විසින් සිදුකර ඇති ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක අතින් අතීශය පුළුල් වපසරියක පැතිර ඇති බව ඒ සම්බන්ධ ව සිදුකර ඇති ප‍්‍රකාශන ඇසුරු කිරීමේ දී පෙනී යයි. 1958 දී ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයක් ලෙස එළිදුටු The Pleistocene of Ceylon කෘතිය මෙතුමා විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවිය වෙත ඉදිරිපත් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සකස් කර ඇති අතර මෙ තුමා විසින් විවිධ තේමාවන් යටතේ ලියවුණු සියගණනක් වූ කෘති හා ශාස්ත‍්‍රිය ලිපිලේඛන අතර අතර කැපී පෙනේ. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් ලංකාවේ අතීතය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය පූර්ණ වශයෙන් මෙම ලිපියෙන් පෙන්වා දී ඇති බව කිසිවෙකු විසින් සැලකිය යුතු නොවේ. ඒ පිළිබද ව පූර්ණ විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම මෙවැනි ලිපි මාලාවකින් පමණක් සිදුකළ හැක්කකි. එ බැවින් මෙ තුළින් සිදුකළ හැක්කේ ආචාර්ය දැරණියගලයන් ගේ කාර්යය කොටස පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ආධුනික පාඨකයාට හඳුන්වා දීමක් පමණක් බව සිහිතබාගෙන මෙම ලිපිය කියවීම වැදගත් වේ.

පී. ඊ. පී. දැරණියගල මහතා පළමු ව සිංහරාජ අඩවියේ තුඩාවේ ගල්ගේ කැනීම් කරන ලද අතර 1940 දශකයේ ආරම්භයේ සිට උඩුපියන් ගල්ගේ, බඹරගල, ලූණුගල්ගේ, කුකුලේගම, ලේනම, මඩොල්ගල්ගේ, යක්ගිරිලෙන වැනි ස්ථාන වල කැනීම් සිදුකොට ගල් ආයුධ, සත්ත්ව අවශේෂ හා ශාක අවශේෂ වැනි ප‍්‍රාග් ඓතිහාසික සාධක රැසක් අනාවරණය කොටගෙන ඇත. අනතුරු ව ඔහු ගේ අවධානය ශ‍්‍රීපාද අඩවිය වෙත යොමු කර ඇත. ශ‍්‍රී පාද අඩවියේ පිහිටි කුරුවිට බටදොඹලෙන හා ඒ ආසන්නයේ ම පිහිටා ඇති බටතොටලෙන ගුහාවන් හී පළමුවරට කැනීම් සිදුකර ඇත්තේ මෙතුමා විසිනි. බටදොඹලෙන කැනීම තුළින් ශිලාමෙවළම් මෙන් ම සත්ත්ව අස්ති රැසක් ද සොයා ගත් බව වාර්තා වී ඇත. 1945 දි කුකුළේගම අසල නෙරවාන ගල්ගේ ගුහාව පිළිබඳ ව අධ්‍යයන කර ඇති අතර ම මොණරාගල දිස්ත‍්‍රික්කයේ සියබලාන්ඩුව ප‍්‍රදේශයේ මණ්ඩාගල්ගේ කැනිමට ලක්කර ගල් ආයුධ සොයාගත් බව ද වාර්තා වී ඇත.

minihagalkanda-sri-lanka-palaeolithic-deraniyagala-archaeology-lk
මිනිහාගල්කන්ද (ඡායාරූපය http://trips.lakdasun.org අඩවියෙනි)

දැරණියගල විසින් සොයාබලා ඇත. කඳුකරයේ පිහිටි බණ්ඩාරවෙළට නැගෙනහිරින් වූ රාවණාඇල්ල ගුහාව ද මේ ආසන්නයේ කැනීමට ලක් කර ඇත. මෙම කැනීම මඟින් ශිලා හා අස්ථි මෙවළම් රැසක් අනාවරණය කරගත් අතර මිනිස් හිස් කබලක් ඒ මගින් සොයාගැනීමට ලැබීම වැදැගත් කරුණක් සේ අගය කළ හැකි වේ. 1953 දි සබරගමුවේ, කෑගල්ල අසළ කළුකොළදෙණිය ගල්ගුහාවෙන් පළමු වතාවට කෙටේරි තලයට සමාන ගල්මෙවලමක් සොයාගන්නා ලදි. මෙය නවශිලා තාක්‍ෂණය පිළිබඳ සාධයක් වශයෙන් ද විද්වතුන ගේ අවධානයට පාත‍්‍ර වී ඇත. පැල්මඬුල්ලට නුදුරු බුලත්වත්ත ස්ථානයෙන් බලංගොඩ සංස්කෘතියට නෑකම් කියන මෙවළම් සොයාගෙන ඇත. පසු ව රත්නපුර කබරගල්ගේ ගුහාව, තෙළුල ආසන්නයේ අළුගල්ගේ, විල්පත්තුවේ බොරදියවල ආදි ස්ථානයන්ගේ සිදුකළ පර්යේෂණ අනුව විවිධ ද්‍රව්‍ය සොයාගැනිමට සමත් වී ඇත.

1956-61 කාලයේ දි ඇඹිලිපිටිය ආසන්නයේ වලවේ ගංගාව ඇසුරේ පිහිටා ඇති බෙල්ලන්බැදිපැළැස්සේ සිදුකළ කැනීම ඉතා වැදගත් පුරාවිද්‍යා කැනීමක් ලෙස ලංකාවේ පුරාවිද්‍යා වංශකතාවේ සටහන් වී ඇත. ලංකාවේ වාසය කළ ආදි මානවයාගේ ශරීර ස්වාභාවය පිළිබඳ ව අදහසක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් නැතිනම් භෞතික මානව විද්‍යාත්මක වශයෙන් වැදැගත් වූ මානව සැකිලි 12ක් පමණ මෙම අවස්ථාවේ දි අනාවරණය කරගැනීමට හැකි විය. මෙය ලංකා ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ අතරතුර සිදු වූ වැදගත් ම සිදුවීමක් වශයෙන් හඳුනාගැනීම අපහසු නොවේ. මේ පිළිබඳ විස්තර යම් ප්‍රමාණයක් එ තුමා ගේ The Pleistocene of Ceylon කෘතියේ ද අන්තර්ගත වී ඇති බව දැකගැනීමට පුළුවන. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ ජීවත් වූ මිනිසා Homo sapiens නමින් හඳුන්වන නූතන මානව (Modern man) ලක්ෂණ සහිත මානවයෙකු බව විධිමත් අයුරින් තහවුරු කරනු ලැබුයේ පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. මෙම මානවයා පළමු වරට හොමෝ සේපියන්ස් බලංගොඩෙන්සීස් දැරණියගල (Homo sapiens balangodensis Deraniyagala) නොහොත් බලංගොඩ මානවයා නමින් හඳුන්වනු ලැබූයේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් වීම අතිශය වැදගත් සංසිද්ධියකි. ඒ අනුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා මානවයාගේ පියා වශයෙන් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා හඳුනාගනු ලැබූව ද එයට එකහෙලා විරුද්ධවීමට කිසිවෙකු සමත් නොවනු ඇත. (ලංකාවේ ආදිම මධ්‍යශිලා මානවයා බලංගොඩ මානවයා යනුවෙන් හඳුන්වා දුන්න ද ඔහු ලංකාවේ බලංගොඩ ප‍්‍රදේශයට පමණක් සීමා වූ මානවයෙකු නොවේ. මෙම හැදින්වීම ලංකාවේ මධ්‍යශිලා මානවයා පිළිබඳ පොදු හැදිනවීමකි. බලංගොඩ මානවයා ලංකාවේ සෑම ප‍්‍රදේශයක ම ජීවත් වී ඇති බව තහවුරු වී ඇත. පුරාවිද්‍යා විශයයේ සම්මතය අනුව යම් නව සාධකයක් පළමු වරට අනාවරණය වූ ස්ථානය අනුව නම් කිරීමේ සම්ප්‍රදායට අනුගත ව මෙම නාමකරණය සිදුකර ඇති බව සිහතබා ගැනීම වටී. සෙන්ට් ඇචූල් (Saint-Acheul) නම් ස්ථානයෙන් පළමු වරට අනාවරණය වූ අත්පොරෝ ලොව කුමන ස්ථානයකින් හමු වුවද ඒවා මුළින් ම හමු වූ ස්ථානයේ නම වූ ඇචූලියන් අත්පොරෝ නමින් හැදින්වීම උදාහරණයකි.

plan-bellanbendipelessa-1956-61-p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk
පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද බෙල්ලන්බැඳිපැලැස්ස කැනීම් පරිශ්‍රය හා කැනීමෙන් අනාවරණය වූ මානව සැකිලි කොටස්

මෙයින් පසු ව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විසින් මහනුවරට ගිණිකොණදිගින් පිහිටි ස්ත‍්‍රිපුර ගුහාව හා විල්පත්තුවේ ඔට්ටප්පුවේ සිදුකළ ගවේෂණ මඟින් ප‍්‍රාග් ඓතිහාසික අවධියට අයත් ශිලාමෙවළම් අනාවරණය කොටගෙන ඇත. රත්නපුර ආසන්නයේ රනගින්නේ හෙරස්ස ගල්ගේ, බුදුගල්ලෙන හා දිග්ගල්ලෙන ද මොහු විසින් පරික්‍ෂාවට ලක් කරන ලදි. සබරගමුවේ පිහිටි පල්ලේපත්තුවේ ගවරගිරිය අසල මානෙල ගල්ගේ හා කෑගල්ල කිතුල්ගල බෙලිලෙන පරික්‍ෂාවට ලක්කර දත්ත රැසක් අනාවරණය කරගන්නා ලදි. රක්වාන බුත්කන්ද, ඉත්තෑකන්ද හා බුළුතොට ගුහාව මතුපිට සමීක්‍ෂණ මඟින් තිරුවාණා පාෂාණයෙන් හා කහඳ පාෂාණයෙන් සකස් කරන ලද ගල් ආයුධ සොයාගෙන ඇත. ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ හුංගම ආශ‍්‍රිත ව කළ ගවේෂණ මඟින් මධ්‍යශිලා මෙවළම් අනාවරණය කරගැනිමට ද සමත් වී ඇත. වර්ෂ 2005 පමණ මෑත කාලයක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් හුංගම මිනී ඇතිලිය ප‍්‍රදේශයෙන් විධිමත් අන්දමින් ප‍්‍රාග් ඓතිහාසික සාධක රැසක් අනාවරණය කරගැනීමට සමත් වී ඇත.

neravana-galge-p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk
පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද කුකුලේගම නෙරවන ගල්ගේ ගුහාවෙන් අනාවරණය වූ සත්ත්ව අස්ථි මෙවළම් හා ගල් මෙවළම් (රත්නපුර ජාතික කෞතුගාගාර එතකුවෙනි)

 ලංකාවේ වැදි මිනිසා පිළිබඳ අවධානය පුළුල් වශයෙන් යොමුකිරීමට ආචාර්ය පී. ඊ. පී. දරණියගල මහතා සිදුකර ඇත. ලංකාවේ ප‍්‍රාථමික ජනකොටස් පිළිබඳ ව සිදුකර ඇති මෙවැනි අධ්‍යයන මඟින් මධ්‍යශිලා යුගයේ මානවයාගේ සංස්කෘතික කටයුතු රැසක් පිළිබඳ ව කරුණු පෙන්වා දීමට සමත් වී ඇත. එ මෙන් ම ලංකාවේ ස්ථාන ගණනාවක ව්‍යාප්ත වී ඇති ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් පිළිබඳ ව ද ආචාර්ය පී. ඊ. පී. දැරණියගල ගේ අවධානය හා අධ්‍යයන යොමු වී ඇත.

ලෝකය හිමෙන් වැසී තිබූ අවධියක් වූ අදින් වසර 10,000-1,800,000 කාලයේ පැවතුණු ප්ලයිස්ටොසීන යුගයට අයත් රත්නපුර දියළු තැම්පතුව කෙරෙහි විධීමත් හා දීර්ගකාලීන අවධානයක් පි. ඊ. පී. දැරණියගල විසින් යොමුකර ඇති අතර ම එ මගින් ලංකාවේ එම යුගයට අයත් සාධක හා පාරිසර්ක තත්ත්ව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදා කර දී ඇත. මෙම දියළු නිධිය අවස්ථා තුනකට බෙදා දක්වමින් හඳුනාගන්නා ලදි. එනම් 1. රත්නපුර අවධිය, 2. පළුගහතුරෙ අවධිය (වගුරු ආදිය වියළී ගිය ශුෂ්ක අවධියකි) හා 3. කොළඹ අවධිය (දේශගුණය වර්තමාන තත්ත්වයට සමාන අවධියකි) යනුවෙනි. එමෙන් ම පී. ඊ. පි. දැරණියගල විසින් ලංකාවේ මුල් කාලීන භූ අවධීන් පිළිබද අධ්‍යයන වෙත ද තම අවධානය ගැඹුරු අන්දමින් යොමු කර ඇත. මෙම අදහස් පසුකාලීන ව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ චර්යාවන් හා පරිසරිය තේරුම් ගැනීම සඳහා පුළුල් වශයෙන් දායක වී ඇත.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ දියළු නිධියට අයත් මැණික් පතල් තුළින් අනාවරණය වූ විවිධ සත්ත්ව හා මානව සංස්කෘතික සාධක කෙරේ අවධානය යොමු කර ලංකාවේ ප්ලයිස්ටෝසීන යුගයට අදාළ ව තොරතුරු රැසක් අනාවරණය කරන ලදි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයක් වශනේ හඳුනාගත හැකි ප්ලයිස්ටෝසීන යුගයේ ජීවත් ව සිට දැනට වද වී ගොස් ඇති සත්ත්ව වර්ග ගණනාවක් පිළිබද පී. ඊ. පි. දැරණියගල මහතා විසින් සිදුකළ අධ්‍යයන ඔහුගේ කැපී පෙනෙන අධ්‍යයන අතර පවතී. එ මඟින් මීට වසර දසදහස් ගණනකට ඔබ්බේ දී ශ‍්‍රී ලංකාවේ වාසය කර දැනට වද වී ගොස් සිටින හා තවමත් ජීවත් වන සතුන් ගනනාවක් පිළිබඳ ව කරුණු අනාවරණය කිරීමට සමත් වී ඇත. ඔහු ගේ The Pleistocene of Ceylon නම් කෘතිය මේ සම්බන්ධයෙන් විස්තර දැනගත හැකි අගනා ම කෘතිය වශයෙන් දැනට ද ගෞරවයට බඳුන් වී ඇත. මේ කෘතිය මඟින් ලංකාවේ ජීවත් ව වඳ ව සිටි නමුත් දැනය වද වී ගොස් ඇති ඉදිබු වර්ග, කිඹුල් වර්ග, අලිඇතුන්, කඟවේනා, හිපපොටේමස්, සිංහයා, ගවරා වැනි සතුන් පිළිබඳ ව ද කරුණු අනාවරණය කර ඇත. මේ අතුරින් දැනට වඳ වී ගොස් ඇති මානව පූර්වජයින් වර්ග දෙකක් පිළිබඳ සාධක ද පී. ඊ. පී. දරණියගල විද්වතා විසින් අනාවරණය කර ඇත. (මේ අවධිය පිළීබඳ විස්තරාත්මක කරුණූ ඇතුළත් ලිපියක් මේ ලිපිපෙළේ දී ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.)

පී. ඊ. පී. දැරණියගල මහතා රත්නපුර පැල්මඩුල්ල ආදි ප‍්‍රදේශ වල පිහිටි දියළු නිධියෙන් පැරණි සත්ත්ව පොසිල රැසක් සොයාගත් අතර මේවා ඉන්දියාවේ නර්මදා ගංගාවේ දෙපස තැම්පත් වී ඇති මධ්‍යම හා ඉහළ ප්ලයිස්ටෝසීන සත්ත්ව වර්ග සමඟ හා පංජාබ් ප‍්‍රදේශයේ ඉහළ ශ්වාලික් කඳුකර ප‍්‍රදේශයෙන් හමු වී ඇති සත්ත්ව අවශේෂ සමඟ සසදා බලමින් අධ්‍යයන සිදු කර ඇත. මෙම සත්ත්ව කොට්ඨාෂ දෙක අතර කැපීපෙනෙන සමානකමක් ඇති බව ද ඔහු විසින් පෙන්වා දී ඇත. ඒ අනුව අදින් වසර දසදහස් ගණනාවකට පූර්වයෙන් ලංකාව හා ඉන්දියාව අතර නිර්මාණය වී පැවැති ගොඩබිම් තීරය ඔස්සේ මෙම සතුන් දෙරට අතර නිදහසේ සංචරණය කිරීමට ඇති බව පෙන්වා දී ඇත. රත්නපුර දියළු නිධියේ පස් තට්ටු නැවැත තැම්පත් වීමක් පෙන්නුම් කරන හෙයින් ඒවායේ තැම්පත් වීම අපැහැදිළි බව ඔහු විසින් පෙන්නුම් කර දෙන ලදි. මෙම එම දියළු නිධියේ හෝ එම දියළු නිධියෙන් හමුවන සාධක කාලනීර්ණය කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති වීම මෙම නැවත තැම්පත් වී පැවතීම ඍජුව ම බලපා ඇත. රත්නපුරය තදාශ‍්‍රිත මැණික් පතල් තුළින් හමු වූ මානවකෘතක පළමු ව ඔහු විසින් රත්නපුර සංස්කෘතිය (Rathnapura Cult.) යනුවෙන් නම් කළ ද පසු ව මෙය රත්නපුර කර්මාන්තය (Rathnapura Industry) ලෙස නම් කරන ලදි. සංස්කෘතියක් ලෙස නම් කිරීම සඳහා සාධක ගණනාවක් පිළිබඳ දත්ත අවශ්‍ය වන නමුත් මෙම මැණික් පතල් තුළින් යම් සංස්කෘතියකට අයත් තාක්‍ෂණය පිළිබඳ සාධක පමණක් නිරූපණය විය. එ බැවින් වියයුතු පරිදි ම මෙම සාධක කර්මාන්තය යනුවෙන් නම් කර ඇත. (රත්නපුර කර්මාන්තය (Rathnapura Industry) පිළිබඳ ව මෙම ලිපි පෙළේ ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.)

ලෝක ව්‍යාප්ත සංස්කෘතියක් වූ ඇචූලියන් අත්පොරෝ (Acheulean handaxes) සංස්කෘතිය ලංකාවේ නැති වීමට හේතුව ලංකාව ඉන්දියාවෙන් වෙන් ව තිබීම බව දක්වන ලදි. එ මෙන් ම මෙම මෙවළම් නිර්මාණය කිරීමට සුදුසු තීරු වශයෙන් ගැල වී නොයන ක්වාට්සයිට් පාෂාණ ලංකාවෙන් හමු නොවීම හා අත්පොරෝ තාක්‍ෂණයෙන් මෙල්ල කිරිමට නොහැකි ඝණ ශාක වැස්මක් පැවතීම යන හේතු ද මෙම සංස්කෘතිය ලංකාවේ පැලපදියම් වීමට එරෙහි ව ක‍්‍රියාත්මක වූ බලවේග අතර පවතින බව පෙනී ගොස් ඇත. (2011 වඍෂයේ දී යාපනය තදාශ‍්‍රිත ප‍්‍රදේශයකින් ලැබී ඇති ගල් ආයුධ කීපයක් ඇචූලියන් සම්ප‍්‍රදාය නියෝජනය කරන බව ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විශේෂඥයින් විසින් අදහස් කර ඇත. මේ පිළිබඳ විස්තර ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ ලියැවෙන ලිපියෙන් බලාපොරොත්තු වන්න.)

ගල් යුගය නැති නම් ශිලා යුග අතුරින් මෑත ම අවධිය වශයෙන් සැකකෙනුයේ නවශිලා යුගයයි (Neolithic). එම අවධියේ ගල් ආයුධ වල හා මානව සංස්කෘතියේ පවතින විශේෂ ලක්ෂණ කීපයක් හේතුවෙන් මෙම අවධිය ඊට පෙර පැවති අවධීන් ගේන් වෙනස් වූ අවධියක් සේ ලසකනු ලැබේ. (මේ පිළිබඳ ව ලංකාවේ නවශීලා යුගය ලිපියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.) ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසික අවධිය තුළ නවශිලා යුගයක් පැවතුණූ බව නිශ්චිත වශයෙන් පිළිගැනීමට ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විද්වතුනගේ සුදානමක් තවමත් දක්නට නැත. මෙම යුගය පිළිබඳ පිළිගැනීමට තරම් යෝග්‍ය විධිමත් සාධක ලංකාවෙන් අනාවරණය වී නොමැති වීම මේ සඳහා හේතු වී ඇත. නමුත් අදින් වසර දශක ගණනාවකට පුර්වයෙන් ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් මෙම අවධිය පිළිබඳ සාධක පවතින බබව පෙන්වා දී ඇත. අද වන විට ලංකාවෙන් නවශිලා යුගයක් පැවතුණු බව පිළිගැනීමට අවඹ වශයෙන් සෑහිමට පත්විය හැකි අන්දමේ සාධක ලැබෙමින් පැවතීම ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතාගේ ව්‍යක්ත බව පෙන්වන සාධකයක් බවට පත් වෙමින් බවතී.

balangoda-man-british-museum-p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk-kelum-nalinda-manamendraarachchi-jpg
බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක තැම්පත් කර ඇති පි.ඊ.පි. දැරණියගල මහතා විසින් රුක්අත්තන දැවයෙන් නිර්මාණය කරන ලද බලංගොඩ මානවයා ගේ හිසක් (මෙම ඡායාරූපය කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා ගේ කාරුණික අනුග්‍රහයෙනි.)

ඉතා පුළුල් වපසරියක් තුළ සිටිමින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක එක්රැස් කරන ලද ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා ගේ පර්යේෂණයක් නිසිවිධි සුසමාදර්ශයක් (paradigm) තුළ ස්ථාපනය වී ඇති බව හඳුනාගත නොහැකි වීම මෙතුමා ගේ පර්යේෂණ සම්බන්ධයෙන් දැක්විය හැකි ප‍්‍රධාන ම දුර්වලතාව වශයෙන් හඳුනාගත හැකි වේ. එහෙත් සමකාලීන ඥානවිභාගාත්මක පරිස්ථිතිය තුළ මෙවැනි තත්ත්වයක් හඳුනාගැනීමට හැකි නොවීම එතුමාට මෙය චෝදනාවක් වශයෙන් එල්ල කිරීමට ඇති හැකියාව සෑම අතින් ම වලකාලයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ඥාන ක්‍ෂේත‍්‍රය වෙත වටිතා අගනා දත්ත සම්භාරයක් පමණක් නොව විශීෂ්ට දිශානතීන් ගණනාවක් හෙළිකරමින් එ තුමා දක්වා ඇති දායකත්වය වර්තමානය දක්වා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ඕනෑ ම ආකාරයේ විශිෂ්ටයෙකු සමඟ සමපෙළ සිටීමට හැකි බව පෙන්වා දී ඇත. එ මෙන් ම තවත් වැදගත් ම කාරණයක් වනුයේ එතුමා විසින් මේ ක්‍ෂේත‍්‍රය වෙත ප‍්‍රාමාණික උගතකු බිහිකිරීමට දක්වා ඇති ඍජු හා වක‍්‍ර දායකත්වයයි. එ නම් ලංකාවේ පමණක් නොව කලාපීය වශයෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව විශේෂඥයකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල විද්වතා තම දරුවන් අතරින් ම බිහිකිරීමට හැකි වීමයි. මෙහි වැදගත්කම වඩාත් උද්දීපනය වන්නේ පි.ඊ.පී. දැරණියගල මහතා ලංකාව තුළ කිසිදු ආකාර දැනුම් නිෂ්පාදන නිල ආයතනයක් සමඟ සම්බන්ධ නෙවී සිටියදීත් මෙවැනි නිර්මාණයක් සිදුකිරීමට හැකි වීමයි.

1956 දී සම්පාදනය කරන ලද University of Ceylon – History of Ceylon කෘතිය සඳහා ආචාර්ය නන්දදේව විජේසේකර මහතා විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සමය යන හිසින් යුතුව ලිපියක් සපයමින් එ වකට පැවති ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ දැනුම ඉදිරිපත් කර ඇත. මෙම ලිපියේ දී විශේෂයෙන් ම අප විසින් ආරම්භක අවධිය යනුවෙන් හඳුනාගන්නා යුගයට අදාළ ක‍්‍රියාකාරකම් හා ඒ තුළින් අනාවරණය කොටගෙන තිබූ සාධක පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. කෙසේ නමුත් විජේසේකර මහතා, ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් මේ වන විට අනාවරණය කොට තිබූ කරුණු පිළිබද අවම අවධානයක් හෝ දක්වා නොමැති බව පෙනී යාම මෙම ලිපියේ පවතින විශේෂයක් වශයෙන් හඳුනාගත හැකි වේ.

excavation-belilena-etula-sri-lanka-prehistory-archaeology.lk-chandima-ambanwala-h.s.senarathne
අවිස්සාවේල්ල බෙලිලෙන-අතුල ගුහාව හා එම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමෙන් හමු වූ විවිධ ද්‍රව්‍යය

අතරමැදි අවධිය තුළ දි නූන් හා නූන්ගේ දායකත්වය තවදුරටත් ලැබී ඇති බව හඳුනාගත හැකි අතර ම 1950 දශකයේ දී බි‍්‍රජඞ් ඕල්චින් (Bridget Allchin) විසින් ලංකාවේ ගල් ආයුධ පිළිබද ව අවධානය යොමුකර ඇති බවත් දැකගැනීම පුළුවන. ජාතික කෞතුකාගාරයේ නිලධාරීයෙකු වූ එස්. පී. එෆ්. සේනාරත්න විසින් 1969 දී Prehistoric Archaeology In Ceylon නමින් යුතු ව ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් කුඩා පොතක් ප‍්‍රකාශයට පත් කරන ලදි. වර්තමානයේ පවා ලංකාව තුළ ප‍්‍රාග් ඓතිහාසික අද්‍යයන ජනප‍්‍රිය වී ඇති බවක් පෙනී නොයන තත්ත්වයක් තුළ සේනාරත්න මහතා ගේ දායකත්වය ඉහළින් ඇගයීමට ලක්කළ හැකි ක‍්‍රියාවක් වේ.

ජාතික කෞතුකාගාරයේ එච්. එස්. ගුණරත්න (Curator in Geology and Prehistory, Department of National Museums, Colombo) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වී අවිස්සාවේල්ල අසල බෙලිලෙන-අතුළ ගුහාවේ කැනීමක් සිදුකරන ලද අතර එම කැනීම මඟින් මධ්‍යශිලා යුගයට අයත් ශිලා මෙවළම් හා සත්ත්ව අවශේෂ ලබාගැනීමට හැකි විය. මේ පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පී. එච්. ඞී. එච්. ද සිල්වා මහතා විසින් සංස්කරණය කරන ලද ජාතික කෞතුකාගාරයේ නිල ප‍්‍රකාශනය වූ Spolia Zeylanica (1971) හි 32 වෙළුමේ පළමු කොටසේ (1-12 පිටු) Beli-lena Atula – Another Stone age habitation in Ceylon යන හිසින් ප‍්‍රකාශයට පත් වී ඇත. මේ අනුව මෙම අවධියේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධ ව ජාතික කෞතුකාගාරය දක්වා ඇති දායකත්වය ද පෙනී යයි.

අතරමැදි අවධියේ අවසාන කාලයේ දී සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ වෙත අවතීර්ණ වන ආකාරය දැකගත හැකි වුවත් එතුමා විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වෙත දක්වා ඇති දායකත්වය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසිත පර්යේෂණයන් ගේ නූතන යුගය තුළ දි සලකා බැලිය හැකි වන බැවින් මෙහි දී ඒ සම්බන්ධයෙන් අවධානය යොම් කරනු නොලැබේ.

ඉහත සාකච්ඡා කළ ආකාරයට ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ අතර මැදි අවධිය පිළිබඳ ව දළ වශයෙන් අවධානය ‍යොමුකළ හැකි වේ. මෙම ලිපිය ආරම්භයේ දී පෙන්වා දෙනු ලැබ ඇති ආකාරයට මෙම අවධිය සතු ලක්ෂණ කීපයක් දැකගත හැකි වේ. විදේශිය විද්වතුන් අතින් ලංකේය විද්වතුන් වෙත ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන හුවමාරු වීම, ලංකාවේ සමස්ථ භූමි ප්‍රදේශය ම ආවරණය වන ආකාරයෙන් ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන දියත් වීම, භු විද්‍යාව, සත්ත්ව විද්‍යාව, මානව විද්‍යාව, කලාව වැනි කේෂ්ත්‍ර ගණනාවක් ආවරණය වන අයුරින් අධ්‍යයන සිදුවීම හා මෙම කේෂ්ත්‍රය සඳහා නව පර්යේෂකයින් අවතීර්ණ කරවීම වැනි ලක්ෂණ ඒ අතර කැපී පෙනේ.

.

.

.

පළමු වැනි ලිපියට . . . දිගු ගමනක ආරම්භය

දෙ වැනි ලිපියට . . . ශ‍්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක පසුබිම

තෙ වැනි ලිපියට . . . ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භක අවධිය

ග්‍රන්ථ නාමාවලිය . . . ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය : ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

මීලග ලිපියෙන් . . . ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ නූතන අවධිය . . . .

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 3 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භක අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

පිවිසුම

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම අඹන්වල

යම්කිසි විෂයක් අධ්‍යයනය කිරීමේ දී විවිධ ආකාරයෙන් නැතිනම් විවිධ ප‍්‍රවේෂ (approaches) ඔස්සේ එම විෂයන් අධ්‍ය්‍යනය කළ හැකි බව අප දන්නා සාමාන්‍ය කරුණකි. එම විවිධ ප‍්‍රවේෂ අතුරින් යම් විෂයක් හා සම්බන්ධ ප‍්‍රාමාණිකයින් පිළිබඳ අධ්‍යයනය කිරීම අදාළ විෂය හා එහි විවිධ පැතිකඩ පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි ප‍්‍රතිඵලදායි එක් ක‍්‍රමයකි. එ බැවින් මෙතැන් සිට මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපි කීපයක් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ආරම්භකයින් හා පර්යේෂකයින් පිළිබඳ ව අවධානය යොමුකිරීමට වෙන් වනු ඇත. තවත් අතකට ලංකාවේ අතීත මිනිසා පිළිබඳ සොයාබලන ලිපි මාලාවක දී ඒ සම්බන්ධයෙන් කැප වූ පූර්ව පර්යේෂකයිනට ලබා දිය යුතු ගෞරවය ලබාදීමේ වැදගත් ම ක‍්‍රමය වන්නේ ද ඔවුන් විසින් අදාළ ක්ෂේත‍්‍රය වෙත ලබා දී ඇති දායකත්වය ප‍්‍රමාණ කිරීමයි. ඊට අමතර ව ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ව අපි අද අත්විදින දැනුම නිර්මාණය කිරීම සඳහා පුරාවිද්‍යාඥයින් හා වෙනත් පර්යේෂකයින් විසින් විදින ලද දුක්ගැහැට හා අපහසුතා පිළිබඳ යම්තාක් දුරකට අවබෝධයක් ලබා ගැනීමට ද මෙය අවස්ථාවක් කරගත හැකි වේ. එය කෘතවේදී ඕනෑම මිනිස් සමාජයක් සතු වටිනා ලක්ෂණයක් වශයෙන් ද හඳුනාගත හැකි වේ. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ අතීතය පිළිබඳව ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසින් තමන් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවඞ් සරසවිය වෙත ඉදිරිපත් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සකස් කොට ඇති Prehistory of Sri Lanka: an ecological perspective ග්‍රන්ථයේ දී History of Research (පිටු අංක 2-22) හිසින් අගනා තොරතුරු සමුදායක් හා විග‍්‍රහයක් ඉදිරිපත් කොට ඇති බව දක්වන්නේ එතුමාට ගෞරව වශයෙනි. මෙය මේ සම්බන්ධයෙන් ලියැවුණු පරීපූර්ණ ලේඛනයක් බව සමහර විද්වතුන් ගේ අදහසයි.

විජයාගමනයට පෙර ලංකාවේ සිටි මානවයා නැතහොත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ ලංකාවේ වර්තමාන පරපුර ප‍්‍රමාණවත් තරමකට දැනුවත් වී නො සිටියත් ලංකාවේ මෙම යුගය පිළිබඳ අධ්‍යයනයන් ගේ ආරම්භය අදින් වසර 125 ද ඉක්මවා යන බව පැහැදිළි ව පෙනී ගොස් ඇත. ශ‍්‍රී ලංකාව එවකට පාලනය කළ සුදු ජාතිකයන් විසින් විවිධ පුරාවස්තු පිළිබඳ ව සොයාබැලීම සඳහා හැරී චාල්ස් පර්වියස් බෙල් මහතා යටතේ පුරාවිද්‍යා සමීක්‍ෂණය (Archaeological Survey of Ceylon) 1890 දී පිහිටු වීමටත් පෙර කාලයක සිට ලංකාවේ ගල් යුගයේ මානවයා පිළිබඳ සොයාබැලීමේ උනන්දුව ආරම්භ වී ඇත. 19 වැනි සියවසේ දී යුරෝපයේ මානවයාගේ පෞරාණිකත්වය පිළිබඳ ඇති වූ දැනුම හා උනන්දුව ලංකාව කෙරෙහි ද ඍජු ආකාරයෙන් බලපා ඇති ආකාරය පෙනී යයි. චාල්ස් ඩාවින් මහතා (Charles Darwin) විසින් පරිණාමවාදය පිළිබඳ ඉදිරිපත් කළ අදහසින් ප‍්‍රබෝධමත් වූ යුරෝපීය ජාතීකයින් මෙතෙක් පැවති ආගමික මැවීම්වාදී අදහස් වලින් ඈත් වී මිනිසාගේ පෞරාණිකත්වය පිළිබඳ සොයා බැලීම කෙරෙහි උනන්දු විය. යුරෝපය කෙන්ද්‍ර කරගනිමින් සිදු වූ මෙම උද්‍යෝගයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ සිටි යුරෝපීයයන් විසින් මේ පිළිබඳ උනන්දුවක් ඇතිකරගෙන මානවයා ගේ පෞරාණිකත්වය පිළිබඳ සොයාබැලීම සඳහා යොමු වූ බව පෙනී යයි. විශේෂයෙන් ම අප‍්‍රිකානු හා ආසියානු කලාපයේ රටවල පැරණි ජනකොටස් කෙරෙහි මෙම ආකර්ශනය වඩාත් වැඩි වූ බව පෙනී යයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සිදු වු ආකාරය හා ඒවායේ ලක්‍ෂණ විග‍්‍රහ කර බලන විට අවස්ථා කීපයක විශේෂ ලක්ෂණ පවතින බව හඳුනාගත හැකි වේ. ඒ අනුව, ලංකවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන ආරම්භ වූ බවට සාධක ඇති 1885 වර්ෂයේ සිට වර්තමානය දක්වා කාලය ප‍්‍රධාන පර්ච්ඡේද නැතිනම් අවධි 3කට බෙදා හඳුනාගත හැකි වේ. එනම්, 1. ආරම්භයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 1939 දක්වා අවධිය, 2. ක‍්‍රිස්තු වර්ෂ 1939 සිට ක‍්‍රිස්තු වර්ෂ 1969 දක්වා අවධිය හා 3. ක‍්‍රිස්තු වර්ෂ 1969 සිට මේ දක්වා අවධිය ආදී වශයෙනි. මෙතැන් සිට මෙම එක් එක් අවධි පිළිබඳ ව සංක්‍ෂිප්ත ආකාරයෙන් විමසා බලමු.

ආරම්භක අවධිය

robert-bruce-foote-archaeology-lk
රොබර්ට් බෲස් පූටේ (මෙම ඡායාරූපය කේ.ඒ.ආර්. කෙනඩිගේ God Apes and Fossil men කෘතියෙන් උපුටා ගන්නා ලදී.)

ඉන්දියාවේ භූ සමීක්‍ෂණ මණ්ඩලයේ ‘රොබර්ට් බෲස් ෆූටේ’ විසින් මදුරාසිය අසල පල්ලවරාම්හි බොරළු ආවාටයක තිබී පැලියෝලිතික උපකරණයක් ක‍්‍රිස්තු වර්ෂ 1863 දි සොයා ගැනීමෙන් ඉන්දියාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ නිල වශයෙන් ඇරුඹුණු බව සැලැකිය හැකි වෙයි. වර්තමානයේ පවතින ආකාරයේ පටු පරිපාලන හෝ දේශපාලන සීමා වලට (ඉන්දියාව, ලංකාව, උතුරු පළාත, වයඹ පළාත වැනි සංස්කෘතික සීමා) අනුගත නොවී කලාපීය සංසිද්ධියක් වශයෙන් අවධානය හා අධ්‍යයනය කළ යුතු සංසිද්ධියක් නැතිනම් විෂයක් වශයෙන් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව මෙම ලේඛකයා විසින් හඳුනා ගැනේ. එ බැවින් උක්ත සිද්ධිය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ ආරම්භක අවස්ථාව වශයෙන් ද සැලකිය හැකි වේ. ඊට සමාන්තර වශයෙන් ශ්‍රී ලංකා භෞමික පරිස්ථිතිය තුළ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ක‍්‍රිස්තු වර්ෂ 1885 දි පමණ ආරම්භ වේ. මෙම ආරම්භකයින් පුරාවිද්‍යාඥයින් නොවන අතර (මේ වන විය පුරාවිද්‍යාව විෂයක් වශයෙන් වර්ධනය වී නොතිබිණ.) ආරම්භක සමයේ විවිධ ක්‍ෂේත‍්‍රයනට අයත් විවිධ වෘත්තිකයන් විසින් ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදුකර ඇත. ලංකාවේ විවිධ ස්ථානයන් ගේ පොළොව මතුපිට විසිරී පැතිරී ඇති තිරුවාණා (quartz), කහඳ (chert) වැනි ගල් වලින් සකස් කරන ලද මෙවළම් රැස් කිරීම මෙම පර්යේෂණයන් ගේ ආරම්භක කාර්යය විය. එ මගින් ගල් ආයුධ භාවිත කළ මිනිස් කොට්ඨාසයක් ලංකා පොළොවේ වාසභූමි කොටගෙන ජීවත් වූ බව ඔවුන් විසින් සාධක ඉදිරිපත් කර ඇත. මෙම මෙවළම් එකතු කිරීම හා අර්ථදැක්වීම් යුරෝපීය ප‍්‍රදේශ වලින් ලැබුණු සාධක සමඟ අර්ථකතනය කිරීමට මෙම පුද්ගලයින් උනන්දු වී ඇත්තේ නිරායාසයෙනි.

hand-axe-madras-india-pallawaram-r-b-foote
රොබර්ට් බෲස් පූටේ විසින් පළමුවෙන් ම සොයා ගන්නා ලද අත් පොරොව (මෙම ඡායාරූපය කේ.ඒ.ආර්. කෙනඩිගේ God Apes and Fossil men කෘතියෙන් උපුටා ගන්නා ලදී.)

කීට විද්‍යාඥයකු වූ ඊ. ඊ. ග‍්‍රීන් (E.E. Green) විසින් 1885 දි පමණ පේරාදෙණිය, නාවලපිටිය, පූඬළුඔය වැනි මධ්‍යම කඳුකරයට අයත් ස්ථාන වලින් කහඳ හා තිරුවාණා පාෂාණ වලින් සකස් කරන ලද පතුරු මෙවලම් සොයාගත් බව වාර්තා වන අතර මෙය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ පැරණි ම පිළිබිඹුව බව විවිධ විද්වතුන් විසින් පෙන්වා දී ඇත. ඉන් අනතුරු ව, වැවිලිකරුවකු වූ ජෝන් පෝල් (John Pole) මස්කෙළිය, දිඹුල, දික්ඔය, බගවන්තලාව, නුවරඑළිය, මාතලේ, මඩොල්සීම, ගාල්ල, මාන්කුළම යන ස්ථානයන්ගේ විවිධ ආකාරයේ ගල් ආයුධ රැස්කළ බව දැකගත හැකි වේ. මොහු විසින් 1913 දී තමන් විසින් සිදුකරන ලද අධ්‍යයන පිළිබඳ ව විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ දී මොහු ඔහුට හමු වූ කහද මෙවළම් පුරාශිලා යුගයට අයත් බවත් තිරුවාණා මෙවලම් නවශිලා නවශිලා යුගයට අයත් බවත් පෙන්වා දීමට උත්සාහ කර ඇත.

green-peradeniya-sri-lanka-prehistory
ග්‍රීන් විසින් මහනුවර ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද තිරුවාණා ගල් මෙවළමක්

එයින් පසු ව සුප‍්‍රකට ස්විස් ජාතික මානව විද්‍යාඥයන් දෙපොළක් වූ පී. සැරසින් හා එෆ්. සැරසින් (P. Sarasin & F. Sarasin) දෙසොහොයුරන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ ව අවධානය යොමු කර ඇත. මොවුන් විසින් මීට ඉහත අධ්‍යයනය සිදුකළ සෙලිබීස් දිවයින (Celebes Islands) තුළ සිදුකරන ලද පර්යේෂණ දැනුම ලංකාවේ පර්යේෂණ ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා පිටිවහලක් වූ බව සිතිය හැකි වේ. එම දැනුම අනුව ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් හමුවන ගල් ආයුධ මිනිස් නිර්මාණ බව ඔවුන් විසින් පෙන්වා දි ඇත. විවිධ පුද්ගලයින් විසින් එක්රැස් කරන ලද ගල් ආයුධ මිනිසුන් විසින් සිදකරන ලද නිර්මාණ නොව ස්වාභාවික ව නිර්මාණය වු ඒවා බවට සමහර පුද්ගලයින් විසින් අදහස් දැක්වීම නිසා මෙම පෙන්වා දිම වැදගත් වේ. සැරසින් සොහොයුරන් පළමු ව ලංකාවේ දකුණු පළාතේ තෙළුල ගුහාව හා ගල්ගේ ගුහාව පර්යේෂණයට ලක්කර සත්ත්ව අවශේෂ හා තිරුවාණා ගල් මෙවළම් අනාවරණය කරගැනීමට සමත් විය. මෙයින් පසු ව බුත්තල හා ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ ස්ථාන අධ්‍යයනය කළ ද එම ස්ථාන වලින් ප‍්‍රාග් ඓතිහාසික සාධක අනාවරණය කර ගැනීමට සමත් ව නැත.

එයින් පසු ව මොවුනගේ අවධානය යොමු වී ඇත්තේ ලංකාවේ පැරණි ම මිනිසුන් ලෙස සැලකූ වැද්දන් ජීවත් වූ ප‍්‍රදේශ වන බිබිල හා නිල්ගල ප‍්‍රදේශ වෙතයි. මොවුන් මේ අතර ගංගොඩදෙණිය ගුහාව කැනීමට ලක්කොට ඒ මගින් යම් ප‍්‍රතිඵලයක් ලැබීමට සමත් වූ අතර මෙම කැනීමේ වැදගත් කරුණක් වන්නේ එම ගුහාවේ පස් තට්ටු නැතිනම් පාංශු ස්තරණය පිළිබඳ සැලැකිල්ලක් දක්වා තිබීමයි. සැරසින් දෙපොළ විසින් යකුන්ගේහෙළ ගංගොඩදෙණිය ගුහාව කැනීමට ලක් කරන ලද අතර එයින් මානව සැකිල්ලක් අනාවරණය කරගැනීමට සමත් වී ඇත. එයින් පසු ව මැටිගහආර ගුහාව හා ඇකීරියන්කුඹුර ප‍්‍රදේශයේ ගොන්ගීනේ ගුහාව කැනීමට ලක් කළ ද සාර්ථක ප‍්‍රතිඵළ අත්කර ගැනීමට සමත් වී නැත. මෙම කටයුතු වලින් අනතුරු ව සැරසින් දෙ සොහොයුරන් ගේ අවධානය ලංකාවේ මධ්‍යම කඳුකරය වෙත යොමු විය. මහනුවර හා බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් මතුපිටින් මෙවළම් සොයාගත් අතර මහනුවර, ගම්පොළ, නාවලපිටිය ප‍්‍රදේශයේ ද ගල් මෙවලම් රැස් කර ඇත. මෙම ගල් මෙවළම් ස්විට්සර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයේ ඇති බව සඳහන් වේ. මොවුන් විසින් ජෝන් පෝල් විසින් එක්රැස් කර තිබූ ගල් මෙවළම් නැවැත පරික්‍ෂාවට ලක් කර ඇත. 1909 දි මොවුන් ලංකාවේ සිදුකළ විවිධ කාර්යයන් අළලා තම වාර්තාව ඉදිරිපත් කරන ලද අතර ලෝක මට්ටමින් පවා ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් වර්ධනයක් නොතිබූ යුගයක මෙවැනි සාර්ථක වාර්තාවක් ඉදිරිපත් වීම ඉතා වැදගත් සංසිද්ධියක් වශයෙන් පුරාවිද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. මෙම වාර්තා මඟින් ලංකාවේ ගල් ආයුධ බටහිර යුරෝපයේ ගල්ආයුධ සමඟ සැසැදිම මගින් ඒවා ඉහළ පුරාශිලා යුගයට අයත් බව හා යුරෝපයේ මැග්ඩලේනියන් සංස්කෘතිය (Magdalenian) හා සැසදෙන බව ද පෙන්වා දෙන ලදි. මෙවැනි කරුණු නිසා සැරසින් සොහොයුරන්ගේ පර්යේෂණ බෙහෙවින් වැදගත් බව නීර්ණය කළ හැකි ය.

රජයේ ප‍්‍රධාන ඛනිජ සම්පත් පර්යේෂකයා වූ පාර්සන්ස් (Parsons) ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සදහා දායකත්වය දක්වා ඇත. ඔහු විසින් බඹරබොටුව ආසන්නයේ දික්මුකලාන තේ වත්තේ පිහිටි ගුහාවක් (බෙලිගල් ගේ) කැනීමට ලක්කොට අඩි 8ක් ගැඹුරින් මිනිස් සැකිලි කොටස් කීපයක් අනාවරණය කොට ගන්නා ලදි. එමෙන් ම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දි ශිලාමෙවලම් සඳහා මූලික වශයෙන් ක්වාට්ස් හා කහද පාෂාණ යොදාගෙන ඇති බව පෙන්වා දෙන ලදි. පසු ව චාල්ස් හාට්ලි විසින් පාර්සන්ස් විසින් සිදුකළ මෙම කැනීමෙන් මතු වූ පස් දැලකින් හලාවඩාත් සුමට ආකාරටයන් පරික්ෂාවට ලක්කර ඇත.

ජි. බි. ගාඞ්නර් (G.B. Gardner) විසින් බෙලිගල්ගෙට නැගෙනහිරින් වූ බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ ශිලා මෙවලම් රැස්කළ අතර ම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කළේ ය. ලෙවිස් (Lewis) විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කල අතර ඒවා අතුරින් මාතර දිස්ත‍්‍රික්කයේ ඌරුමුත්ත ගල්ගුහාව සිදුකළ කැනීම වඩාත් සැලකිල්ලට ලක් වී ඇත.

වැද්දන් හා සිංහල ජනයා පිළිබඳ ව මානවවංශ විද්‍යාත්මක පර්යේෂණ රැසක් දියත් කරමින් වාරිමාර්ග ඉංජිනේරුවෙකු වූ හෙන්රි පාකර් (Henry Parker) විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන ක්‍ෂේත‍්‍රය වෙත දායකත්වය සැපයී ය. මොහු විසින් ලංකාවේ ජීවත් වන සිංහල, වැදි හා දෙමළ ජනයා සතු ව ඇති විවිධ ජනප‍්‍රවාද පිළිබඳ ව තාර්කික අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා ලදි. ඒ අතර වැදි ජනයා ගේ ප‍්‍රභවය පිළිබද අදහස් දක්වා ඇති අතර ම ලංකාවේ වෙසෙන වැද්දන් දිවයිනේ පැරණි පාළි වංසකතාවන් ගේ දැක්වෙන යක්‍ෂයන් ගේ මුණුපුරන් විය හැකි බව ප‍්‍රබල වශයෙන් පළමු ව පෙන්වා දීමට උත්සාහ කර ඇත. මොහු විසින් රචනා කරන ලද Ancient Ceylon: an account of the aborigines and of part of the early Civilization Asian Educational Survices, New Delhi. (1909) ග‍්‍රන්ථය මගින් විවිධ කේෂ්ත‍්‍ර අරඹයා පැතිර ගිය තමා ගේ දැනුම පෙන්නුම් කොට ඇත. පුරාතන ලංකාව නමින් මේ පොතේ පරිවර්තනයක් දැන් සිංහල බසින් ප‍්‍රකාශයට පත් වී ඇත. පාකර් විසින් හේනේබැද්ද බැඳියගල්ගේ හා ඇබිලිත්ත ප‍්‍රදේශයේ මුල්ලේගම ගල්ගෙය කැනීමට ලක් කළේ ය. සිදුකළ කැනීම් මගින් පස් තට්ටුවල පිහිටීම අධ්‍යයනය කරමින් ඓතිහාසික අවධියෙන් යට පිහිටි ස්ථර වල පිහිටීම අධ්‍යයනය කරන ලද අතර මොහු ලංකාවේ දී පළමු වතාවට ශිලා මෙවලම් වර්ගීකරණය කිරීමට උත්සාහ ගන්නා ලදි.

charles-gabriel-seligman-archaeology-lk
සි.ජී. සෙලිග්මාන් (මෙම ඡායාරූපය https://en.wikipedia.org/wiki/Charles_Gabriel_Seligman වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

වර්තමානයේ දී ලෝකයේ විශිෂ්ට ම මානව විද්‍යා පර්යේෂණයක් දියත් කළ මානව විද්‍යාඥයින් වශයෙන් ගෞරවයට ලක් කෙරෙන සි. ජී. සෙලිග්මාන් හා බී. ඉසෙඞ්. සෙලිග්මාන් (Charles Gabriel Seligman & Brenda Zara Seligman) යුවල ගේ දායකත්වය වර්තමාන ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයනයන සදහා බෙහෙවින් යොදාගැනෙන බව පෙනී යයි. ඔවුන් විසින් සිදුකළ අද්‍යයන අතුරින් වැද්දන් පිළිබද ව සිදුකර ඇති The Veddas – Cambridge University Press ඉතා වැදගත් වශයෙන් කැපී පෙනේ. වැද්දන් සම්බන්ධයෙන් මොවුන් විසින් සිදුකළ අධ්‍යනයේ ප‍්‍රශස්ථ මට්ටමේ සිංහල පරිවර්තනයක් මෑතක ඵලකර ඇත. (ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය බලන්න.) මොවුන් විසින් හේනේබැද්ද ප‍්‍රදේශයේ බැඳියගල්ගේ කැනීමට ලක්කොට එම ගුහාවේ ඓතිහාසික කාලයෙන් ඔබ්බේ වූ පස් තට්ටුවේ ගල් ආයුධ අන්තර්ගත වූ බව පෙන්වා දී ඇත. සි. ජී. සෙලිග්මාන් විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල් ආයුධ ”සංඛ්‍යාව” අනුව වර්ග කිරීමේ අදහස පළමු වරට ඉදිරිපත් කර කරන ලදි. සැරසින් සහෝදරයින් විසින් ගල් මෙවළම් රැස්කළ බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ සෙල්ග්මාන් යුවල විසින් ද ගල්මෙවළම් රැස් කර ඇත. මෙම ප‍්‍රදේශයේ හමු වන මෙවලම් පුරාශිලා යුගයට අයත් බවට සැරසින්වරු දැක් වූ අදහස් ප‍්‍රතික්‍ෂ්ප කරමින් මෙම ආයුධ නවශිලා යුගයට අයත් බවට අදහස් දක්වා ඇත. මොවුන් විසින් එක්රැස්කල ගල් ආයුධ දැනට ඔක්ස්පොර්ඞ් හි පීට් රිවර්ස් කෞතුකාගාරයේ ඇති බව සමහර විද්වතුන් සදහන් කර ඇත.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ වැදගත් නියෝජනයක් දැක් වූ චාල්ස් හාට්ලි (Charles Hartley), පාර්සන්ස් විසින් අධ්‍යයනය කළ බෙලිගල්ගේ ගුහාව දිගට ම කැනීම් කළ නමුත් විශාල පාෂාණ කොටස් හමුවීම නිසා පිහිටි පොළොව දක්වා කැනිම් කිරීමට හැකි වී නැත. හාට්ලි විසින් බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, කොස්ලන්ද, පට්ටිපොළ, රාගල, නානුඔය, රදැල්ල, නෝවුඞ්, දික්ඔය, දිඹුල, කොග්ගල, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, උලපනේ, නාවලපිටිය, ගම්පොල, දොළොස්බාගේ, පේරාදෙණිය, කඩුගන්නාව, මහනුවර, කුරුණෑගල, පුත්තලම, හබරණ, පොළොන්නරුව, හම්බන්තොට, බෙලිගල්ගේ, ආදි වශයෙන් ලංකාවේ බොහෝ ස්ථානයන් ගේ තම අධ්‍යයන සිදු කර ඇත. මොහු විසින් එක්රැස් කරන ලද ගල් ආයුධ වලින් විශාල ප‍්‍රමාණයක් කේම්බි‍්‍රජ් හි ඩවුනින් වීදියේ පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරය හා ඔක්ස්පොර්ඞ් පීට් රිවර්ස් කෞතුකාගාරය තැම්පත් කර ඇති බව පෙන්වා දී ඇත. මොහු ගේ ගවේෂණ තුළින් ශිලාමෙවළම් දහස් ගණනක් සොයාගෙන ඇත

vedda-dambana-sri-lanka
ශ්‍රී ලංකාවේ වැදි ජනයා (මෙම ඡායාරූපය http://magnificentisland.blogspot.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

සැරසින්වරු ගොඩනැගූ අඩිතාලම පුළුල් කිරීමට හාට්ලි සමත් වූ අතර මේ දක්වා රැස්කර තිබූ ගල් මෙවළම් රැස්කර ඒවා නවශිලා යුගයට අයත් මෙවලම් වලට සමාන බවට අදහස් දැක්විය. හාට්ලි විසින් 1913 දී කුඩා ගල් මෙවළම් පිග්මි (Pigmy) යනුවෙන් හදුන්වා ඇති අතර මෙවැනි ගල් ආයුධ දැන් ක්‍ෂුද්‍රශිලා ගල් ආයුධ වහයෙන් හදුන්වනු ලැබේ. මෙවැනි ක්‍ෂද්‍රශිලා මෙවලම් ලැබෙන ප‍්‍රදේශ ලෙස තෙත් කලාපයේ නැතිනම්, D පාරිසරික කලාපය් උස්භූමි ආශ‍්‍රිත ව පිහිටි මාතලේ, නාවලපිටිය,පට්ටිපොල, මහඑළිය, දියතලාව හා යාපනයේ මුහුදුබඩ වෙරළ තීරය දක්වන ලදි.

අඩසඳ (Lunate) හැඩයේ ජ්‍යාමිතික ගල් මෙවළම් රැස්කිරීමට මොහු සමත් වූ අතර ම ලංකාවේ ප‍්‍රථම වතාවට ශිලාමෙවළම් වර්ගීකරණයක් ඉදිරිපත් කළේ හාට්ලි විසිනි. නමුත් අවාසනාවන්ත කරුණක් වන්නේ තමන් විසින් සිදුකළ අධ්‍යයන සම්බන්ධයෙන් සෑහීමට පත් විය හැකි මට්ටමක වාර්තාවක් ඉදිරිපත් කිරීමට හාට්ලි සමත් වී නොමැති වීමයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන්ගේ ආරම්භක සමයේ සිටි ඉතා ම වැදගත් හා වෙනත් ම ආරක් ගත පර්යේෂකයෙන් වශයෙන් භූ විද්‍යාඥයකු වූ ඊ. ජේ. වේලන්ඞ් (E.J. Wayland) හදුනාගත හැකි වේ. ඔහු ලංකා රජයේ සහකාර ඛනිජ සම්පත් ගවේෂකයකු වහයෙන් සේවය කළ වෘත්තීකයෙකි. නූතන යුගයේ බිහි වූ විශිෂ්ට ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිදඥයා වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා කෙරෙහි මොහුගේ ආභාසය ලැබී ඇති බව කැළුම් මනමේන්ද‍්‍ර-ආරච්චි මහතා විසින් පෙන්වා දී ඇත. මොහු විසින් ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සඳහා භූ විද්‍යා හා දේශගුණ තත්ත්ව බලපෑ ආකාරය පිළිබද ව විශේෂ අවධානය යොමුකර ඇත. ඒ සදහා ඔහු සතු දැනුම අනිවාරයයෙන් ම උපකාර වන්නට ඇත. වේලන්ඞ් විසින් ලංකාවේ වයඹදිග කලාපයේ කලාඔය හා මෝදරගම්ආරු තැම්පතුව (Plateau Deposits) පිළිබඳ ව අධ්‍යයනය කරන ලදි. එ මෙන් ම ගිණිකොණදිග වූ උඩපොතාන අර්ධ ශුෂ්ක ප‍්‍රදේශයේ සිට මුලතිව් දක්වා කලාපය ද පරික්‍ෂා කරන ලදි. මොහු මෙම ප‍්‍රදේශයේ වඩා යටින් ලැබෙන බොරළු තට්ටුව ප්ලයිස්ටෝසීන ග්ලැසියර අවධියට අයත් බවත් මතුපිට රතු පැහැති වැලි පස වියළි දේශගුණික තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දැක් විය. වර්තමානයේ භූ විද්‍යාඥයින් විසින් Iranamadu Sequence හා පුරාවිද්‍යාඥයින් විසින් ඉරණමඩු පාංශු සංකීර්ණය (Iranamadu Formation- IFm) යනුවෙන් හදුනාගන්නා රතු පාංශු තැම්පතුව පිළිබද පළමු ව පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුතු ව අවධානය යොමු කරමින් අධ්‍යයනය සිදුකර ඇත්තේ වේලන්ඞ් විසිනි. 1970/80 දශකයන් හී දි මේ පාංශු තැම්පතුව පිළිබඳ ව ආචාර්ය එස්.යු. දැරණියගල මහතා විසින් වැඩිදුර අවධානය යොමුකරමින් ප‍්‍රශස්ථ මට්ටමේ අධ්‍ය්‍යනයක් සිදුකර ඇත. වේලන්ඞ් විසින් ලංකාවේ අතීතය පිළිබද ව ප‍්‍රකාශන ගණනාවක් සිදුකර ඇති අතර ඒ අතුරින් 1919 දී ජාතික කෞතුකාගාරයේ නිල ප්‍රකාශනය වූ Spolia Zeylanica සඟරාවෙන් ප‍්‍රසිද්ධියට පැමිණ වූ Outline Of The Stone Ages Of Ceylon ලිපිය වඩාත් සැලකිල්ලට ලක් වී ඇත. මෙම ප‍්‍රකාශනයේ දී මොහු විසින් ගල් මෙවළම් කඳුකර වර්ගය (Hill Series) හා පහත් බිම් වර්ගය (Lowland Series) යනුවෙන් වර්ග කර ඇත. චාල්ස් හාට්ලි වැනි පර්යේෂකයින් විසින් බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ රැස්කළ ශිලාමෙවළම් විශාලත්වයෙන් කුඩා වුව ද ඒවා පූර්වශිලා හා නවශිලා යුගය අතර කාලයට අයත් බව ද ප්ලැටෝ තැම්පතු වල අන්තර්ගත පහත්බිම් ශ්‍රෙණියේ ආයුධ වර්ගය වඩා විශාල ගල් මෙවළම් වන අතර එවා ඔහු විසින් යුරෝපයේ මධ්‍යම පුරාශිලා නැතිනම් මුස්ටේරියන් තාක්ෂණය (Mousterian) සමඟ සැසදෙන බව සඳහන් කර ඇත.

kudiramalai-point-mannar-sri-lanka-archaeology-lk-chandima-ambanwala
ඉරණමඩු පස් සැකැස්ම – කුදිරමලේ තුඩුව

ජොන් ස්ටීල් (John Still) හා ඒ. එම්. හෝකාර්ට් (A.M. Horcart) විසින් ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයන සඳහා යම් දායකත්වයක් සපයා ඇත. ස්ටීල් විසින් ලංකාවේ වැදි ජනයා හා පැරණි ජීවන ක‍්‍රමය පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත. හාවඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙකු වූ ඊ. සී. වෝර්මන් (E.C. Wormann) විසින් 1938-39 කාලයේ දී ලංකාවේ වයඹදිග කලාපයේ වෙරළ තීරය පරික්‍ෂාවට ලක්කර ගල් ආයුධ රැස්කර ඇත. මොහු විසින් රැස්කළ ගල් ආයුධ ඇමරිකාවේ හාවඞ් සරසවියේ පීබොඩි සරසවියේ කෞතුකාරයේ ඇති බව දැක් වේ. ඔහු බණ්ඩාරවෙළින් ලැබුණු ශිලාමෙවළම් පරික්‍ෂාකර ඒවා මධ්‍යශිලා මෙවළම් ලෙස හඳුනාගන්නා ලදී. එ මෙන් ම වේලන්ඞ් විසින් දැක්වූ ප්ලැටෝ ඩිපොසිට්වලට අයත් මෙවළම් ද මධ්‍යශිලා යුගයට අයත් බව හඳුනා ගන්නා ලදි.

එන්. ඒ. නූන් හා එච්. වී. වී. නූන් (N.A. Noon & H.V.V. Noon) විසින් කදුකරයට අයත් බණ්ඩාරවෙළ ප‍්‍රදේශය නැවැත පරික්‍ෂාවට ලක්කරන ලදි. ඔවුන්ගේ පරීක්‍ෂණ වල දි ගල් මෙවලම් 2000ක් පමණ සොයාගත් අතර මේවා විවිධ පදනම් අනුව විශ්ලේශනය කිරීම වැදගත් වේ. මොවුන් විසින් ලංකාවේ ශිලාමෙවළම් එක ම සංස්කෘතියකට අයත් බවත් එය බණ්ඩාරවෙළ සංස්කෘතිය ලෙස සැලැකීම සුදුසු බවට අදහස් දක්වා ඇත.

මේ දක්වා ආරම්භක අවධියේ ප‍්‍රාග් ඓතිහාසිකපර්යේෂණ පිළිබඳ ව අවධානය යොමු කරන විට ඒ හා සම්බන්ධ ලක්ෂන කිපයක් හඳුනාගත හැකි වේ. එනම්, 1. විදේශිය පුද්ගලයින් විසින් මේ පිළිබඳ අධ්‍යයනය සිදුකිරීම, 2. පුරාවිද්‍යාඥයින් නොවන වෙනත් කේෂත‍්‍රයන් හා සම්බන්ධ විවිධ වෘත්තිකයින් විසින් අධ්‍ය්‍යන සිදු කිරීම ඒ අතුරින් කැපී පෙනේ. එමෙන් ම බොහොවිට ප‍්‍රාග් ඓතිහාසික සංස්කෘතියට අදාළ ගල් මෙවළම් හා මානවවංශ විද්‍යා සාධක වෙත වැඩි නැඹුරුවක් දැක්වීමත් තවත් ලක්ෂණයකි. හඳුනාගත හැකි තවත් විශේෂම ලක්ෂණයකි මෙම පර්යේෂණයන්ගෙන් සැලකිය යුතු බහුතර ප්‍රමාණයක් ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය වෙත යොමු වී පැවතීමයි. එය පසු ව වෙනස් වන බව පෙනී යයි. කෙසේ නමුත් ලෝකයේ ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ සමඟ සංසන්දනය කරමින් බැලීමේ දී විශිෂ්ට ආකාරයේ දත්ත සම්භාරයකින් ලංකාව සමන්විත බව හා විධිමත් ප‍්‍රාග් ඓතිහාසික පර්යේඹන මාලාවක් සඳහා ක‍්‍රමික පදනමක් ලබාදීමට සමත් වී ඇති බව තහවුරු වෙයි. ඒ අනුව වර්තමානයේ ප‍්‍රශස්ථ මට්ටමේ වර්ධනයක් අත්කොටගෙන ඇති ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ පදනම සාරවත් හා විධිමත් දෘෂ්ටීයක් සහිත ව හැඩගැසුණු බව තීරණය කිරීමට පුළුවන.

 – – ඔබගේ ප්‍රතිචාර ගෞරවයෙන් අපේක්ෂා කරමු – –