32 C
Colombo
Friday, May 7, 2021

කෞතුක වස්තු සංරක්ෂණ විධික‍්‍රම (සීගිරිය කෞතුකාගාරය ඇසුරින් කෙරෙන විවරණයකි)

Must read

Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

දීපිකා සී. දිසානායක

පර්යේෂණ නිලධාරී (පුහුණවන)
අභයගිරි ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

dmdcdeepika@gmal.com

deepika-c-dissanayake
දීපිකා සී. දිසානායක

සංරක්ෂණය වූ කලී කෞතුකාගාරයක කෞතුක වස්තූන්හි දිරාපත් වීමේ වේගය අවම කර එහි ආයු කාලය දීර්ඝ කර ගැනීමට ගනු ලබන විද්‍යාත්මක ප‍්‍රයත්නයන් වේ. සංරක්ෂණය කොටස් දෙකකට සිදු කරනු ලබයි. එනම්, 1. යාන්ත‍්‍රික රසායනික සංරක්ෂණය (Remedial Consevation) හා 2. නිවාරක සංරක්ෂණය (Preventive Conservation) යනුෙවනි. මෙම ක‍්‍රම දෙක ඔස්සේ සිදු කරනු ලබන සංරක්ෂණයේ දී පළමු ක‍්‍රමයේ දී යාන්ත‍්‍රික හා රසායනික ක‍්‍රමවේද භාවිත කරමින් සිදු කරනු ලබයි. මෙම ක‍්‍රමයේ දී පුහුණු සංරක්ෂකයෙකු යටතේ සංරක්ෂණ රසායනාගාරයක් තුළ සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. එසේම එහි සංරක්ෂණ කටයුතු සඳහා මිළ අධික රසායන ද්‍රව්‍යය හා උපකරණ සහිත රසායනාගාර පහසුකම් අනිවාර්ය වේ. මෙය සෑම දෙනාටම සිදුකළ නොහැක්කකි. එ් සඳහා පළපුරුද්ද හා විද්‍යාත්මක දැනුම අනිවාර්ය වේ. මෙයින් දෙ වැනි සංරක්ෂණ ක‍්‍රමය නිවාරක සංරක්ෂණ ක‍්‍රමයයි. එහි දී එ් එ් භාණ්ඩ නිර්දේශිත පාරිසරික තත්ව යටතේ ප‍්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම සිදු කරනු ලබයි. එහි දී භාණ්ඩ දිරාපත් වීමට හේතු කාරක වන සියලූ කාරණා එම පරිසරයෙන් ඉවත් කිරීම කළ යුතුය. මේ සඳහා පුහුණු සංරක්ෂකයින්ගේ දායකත්වය ඝෘජුවම අවශ්‍ය නොවේ. එසේම සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මිළ අධික රසායන ද්‍රව්‍යය හා උපකරණ සහිත රසායනාගාර පහසුකම් මේ සඳහා අවශ්‍ය නොවනු ඇත (කස්තුරිආරච්චි හා අබේරත්න 2005:35). එ් අනුව සරල, පහසු හා මිළ ක‍්‍රමය වන්නේ නිවාරක සංරක්ෂණ ක‍්‍රමයයි. යාන්ත‍්‍රික සංරක්ෂණ ක‍්‍රමයට බඳුන් කරනු ලැබු භාණ්ඩයක් වුවත් නිවාරක සංරක්ෂණ යටතේ නො තැබීමෙන් විනාශ වීමට ඉඩකඩ වැඩිය. එම නිසා සංරක්ෂණ ක‍්‍රමවේද දෙකම භාවිත කරමින් කෞතුකාගාරයක කෞතුක වස්තු සංරක්ෂණය කළ යුතු වේ. සීගිරිය කෞතුකාගාරය තුළ කෞතුක වස්තු සංරක්ෂණයේ දී මෙම ක‍්‍රම දෙක යටතේම විවිධ විධික‍්‍රම භාවිත කරනු ලබයි.

කෞතුකාගාරයක් සතු දහස් සංඛ්‍යාත පුරාවස්තු දෙස බැලීමේ දී එ්වා මනා කළමනාකාරීත්වයකට හා සංරක්ෂණයකට යොමු වීම අනිවාර්ය වේ. මෙම අධ්‍යයනයට බඳුන් කරනු ලබන සීගිරිය කෞතුකාගාරයේ මනා සැලසුමකින් යුක්තව පහසුකම් සහිතව සංරක්ෂණ රසායනාගාරයක් තුළ එය සිදු කරනු ලැබේ. සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණ කටයුතු සඳහා මූලික පදනම දමනු ලැබුවේ මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ උපදෙස් පරිදි වේ. ඔහුගේ මැදිහත්වීම යටතේ සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තු වෙනත් සංරක්ෂණ රසායනාගාරයකට යොමු නොකර එම කෞතුකාගාරය තුළදීම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට හැකි වී ඇත. මේ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්, පළපුරුදු සංරක්ෂණවේදීන් සහිතව අද වන විට මෙහි සංරක්ෂණ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කරනු ලැබේ. මෙම කෞතුකාගාරය තුළ විවිධ මාධ්‍ය වලින් නිර්මිත පුරාවස්තු සියල්ලක්ම පාහේ සංරක්ෂණය කරනු ලැබේ. නිර්මිත මාධ්‍යය අනුව මේවායේ සංරක්ෂණ විධික‍්‍රම එකිනෙකට වෙනස් වේ. මෙම අධ්‍යයනය මගින් සිදු කරනු ලබන්නේ සීගිරි කෞතුකාගාරය තුළ කෞතුක වස්තු සරක්ෂණය සිදු කරනු ලබන සංරක්ෂණ විධික‍්‍රම පිළිබද අධ්‍යයනයක් වේ.

seegiriya-museum-sri-lanka
සීගිරිය ෙකෟතුකාගාරය

මැටිබඳුන් සංරක්ෂණය

පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණ මගින් අනාවරණය කරගන්නා වූ මැටි බඳුන් විවිධ හේතූන් නිසා භෞතික හා රසායනික වශයෙන් විපර්යාසයන්ට ලක්ව විනාශ වීම හෝ දිරාපත්වීම සිදු වේ. එසේ විනාශ වීමට හේතු වූ කරුණු හඳුනා ගෙන පුරාවස්තු භෞතිකව හා රසායනිකව ශක්තිමත් කරමින් ජීව කාලය දීර්ඝ කිරීම සංරක්ෂණයේ ප‍්‍රධාන අරමුණ වේ. මෙම සංරක්ෂණ ක‍්‍රියාවලිය සංරක්ෂණ විද්‍යාගාරය තුළ පියවර ගණනාවක් ඔස්සේ සිදු කරනු ලබයි.

මැටි බඳුන් නිෂ්පාදනයේ සිට භාවිතයට ගැනීම, භාවිතයෙන් ඉවත් කළ පසුව භූ අභ්‍යන්තරිකව වැළලී තිබීමල නැවත ගොඩ ගැනීම, සංරක්ෂණය, ප‍්‍රදර්ශනය හා ගබඩා කිරීම යන සියලූ අවස්ථාවන්වල දී භෞතිකව බහුල වශයෙන් ද රසායනිකව අල්ප වශයෙන් ද විනාශ වීම සිදු වේ (රොඞ්රිගෝ 2011:30). ඉහත ආකාරයේ විවිධ හේතු කාරක නිසා විනාශයට ලක් වී ඇති මැටි බඳුන් සංරක්ෂණය මනා සංයමයකින් හා අවබෝධයකින් කළ යුතු භාරදුර කාර්යයකි. සංරක්ෂණයේ දී පියවර ගණනාවක් ඔස්සේ මේ කාර්යය ඉටු කරනු ලබයි. සිගිරිය කෞතුකාගාරයේ මැටිබඳුන් සංරක්ෂණ විධික‍්‍රම රාශියක් අනුගමනය කරනු ලබයි.

සංරක්ෂණය සිදු කිරීමේ දී පළමු පියවර වන්නේ වාර්තාගත කිරීමයි. එය සංරක්ෂණයේ දී වැදගත් කාර්යභාරයකි. අනාගත සංරක්ෂණ, පර්යේෂණල අධ්‍යයන සඳහා මේ වාර්තාගත කිරීම ඉතා වැදගත් වේ. වාර්තාගත කිරීම්ල ඡායාරූපකරණයල ලිඛිත වාර්තා, සැලසුම් හා වීඩියෝගත කිරීම් වැනි ක‍්‍රමවේද මෙහි දී භාවිත කළ හැකිය. මෙහි දී පුරාවස්තුවේ වර්තමාන තත්වය පැහැදිලි ලෙස වාර්තා ගත කළ යුතුය. පිපිරුම්ල ඉරිතැලීම්ල බඳුනේ හැඩයල හරස්කඩ, පෙර සංරක්ෂණයට ලක්වූවා නම් එම කොටස් ආදී සියල්ල සටහන් කළ යුතුය. පුරාවස්තුවේ සංරක්ෂණයට පෙර තත්වය සංරක්ෂණයෙන් පසු වෙනස් වන නිසා මේ වාර්තාගත කිරීම ඉතා වැදගත් වේ.

සංරක්ෂණයේ දී පළමු කොට ම පුරාවස්තු පිරිසිදු කළ යුතු වේ. පිරිසිදු කිරීම ආකාර දෙකකට සිදු කරනු ලබයි. එනම්, 1. යාන්ත‍්‍රික ක‍්‍රමය හා 2. රසායනික ක‍්‍රමය යන ක්‍රම භාවිත කිරීමයි. යාන්ත‍්‍රික ක‍්‍රමයේ දී ලී පතුරු, ඉරටු, බුරුසු වැනි සරළ උපකරණ භාවිත කර පස් හා අපද්‍රව්‍යය ඉවත් කිරීම ගත හැකි ය. තද උපකරණ භාවිතයෙන් සීරීම්, පැල්ලම්, කැපීම් ඇතිවිය හැකි නිසා එ්වා භාවිත නොකරයි. රසායනික පිරිසිදු කිරීමේ දී ආශ‍්‍රැත ජලය සමග ඇසිටෝන්, ආශ‍්‍රැත ජලය සමග ඇල්කොහොල් මිශ‍්‍රණය භාවිත කෙරේ. වඩා දුර්වල තත්වයේ ඇති මැටි බඳුන් පිරිසිදු කිරීමේ දී ඉරටුවල දැවටු පුළුන් භාවිත කර (Cotton Swab) සිදු කරනු ලබයි. ඉහත රසායනික ද්‍රව්‍යය භාවිතයෙන් පිරිසිදු කිරීම සිදුකළ ද විශාල ප‍්‍රමාණයේ හා හොඳ තත්වයේ මැටි බඳුන් පිරිසිදු කිරීමට ආස‍්‍රැත ජලය භාවිත කරයි. අනතුරුව මැටි බඳුන් කොටස් වියළීමට කාමර උෂ්ණත්වයේ දින තුනක්වත් තබනු ලබයි.

මැටි බඳුන්වල අධික ලවණ තත්වයන් ඇති විට ලවණ ඉවත් කිරීම සිදු කරනු ලබයි. ඊට අමතරව දුර්වල මැටි බඳුන්වලට රසායනිකව හා භෞතිකව ශක්තිය වැඩි කිරීමට ස්ථාවර කිරීම සිදු කරයි. මෙහි දී 2%-3% පැරලොයිඞ් B72 හා ටොලූවින් ආලේප කිරීම සිදු කරයි. පිරිසිදු කිරීමෙන් අනතුරුව මැටි බඳුන්වල කොටස් ඇලවීම ඊළඟ පියවරයි. මෙහි දී කොටස් සමබර කරමින් අවශ්‍ය ආධාරක සපයමින් කොටස් අලවනු ලබයි. කොටස් පිරිසිදු කිරීමට පෙර අංකගත කර සැලසුමකට ගෙන තිබීම ඇලවීමේ දී වාසිදායක වේ. අලවන පෘෂ්ඨය සියුම් බුරුසුවකින් පිසදමා ඇසිටෝන් වලින්ද පිසදමා අනතුරුව 50% පැරලොයිඞ් B72 ඇසිටෝන් මිශ‍්‍රණය භාවිත කර ඇලවීම සිදු කෙරේ. අලවන ලද කොටස් දින තුනක් පමණ කාමර උෂ්ණත්වයේ තබා වියළුණු පසු නැවත කොටස් එකතු කරනු ලබයි.

ඉන් අනතුරු ව සිදුකරනුයේ අඩු කොටස් පුරවා භෞතික ශක්තියක් ලබාදීමයි. එ් සඳහා පැරිස් බදාමය භාවිත යොදා ගනි. ඩෙන්ටල් වැක්ස් පතුරු භාවිත කර හැඩය සකසා පැරිස් බදාමය බුබුළු ඇති නොවන සේ ජලය සමඟ මිශ‍්‍ර කරගෙන අඩු කොටස පුරවයි. වැඩිපුර ඇති බදාමය එම අවස්ථාවේ ද වියළුණු පසු ද සූරා වැලි කඩදාසිවලින් ඔපකර මැටි බඳුන සම්පූර්ණ කෙරේ. අඩුතැන් පිර වූ කොටස්වල අවශ්‍ය පරිදි මැටි බඳුන්වල ඇති මොස්තරාදිය සැකසීම ද කරනු ලබයි. ඉන් අනතුරුව සිදුකරනුයේ මැටි බඳුන් වර්ණ ගැන්වීමයි. මේ සඳහා නැවත ඉවත් කිරීමට හැකි දියසායම් මාධ්‍ය භාවිත කෙරේ. මැටි බඳුන් වර්ණ ගැන්වීමට විවිධ උපක‍්‍රම තිබුණ ද මුල් කෘතිය හා කොටස් එකතු කිරීම හඳුනාගත හැකි වන සේ වර්ණ ගැන්වීම සිදු කෙරේ.

එසේ සිදු කරනු ලබන්නේ යාන්ත‍්‍රික රසායනික සංරක්ෂණ ක‍්‍රමවේදයේ දී භාවිත විධික‍්‍රම ඔස්සේ ය. සීගිරිය කෞතුකාගාරයේ මැටි බඳුන් සංරක්ෂණයේ දී යාන්ත‍්‍රික සංරක්ෂණයට පසු මැටි බඳුන් ගබඩා කිරීමේ දී නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදයන් ද යොදා ගනි. එනම්, භාණ්ඩය තබා ඇති ගබඩාවේ, ප‍්‍රදර්ශන කුටියේ පරිසරය නඩත්තු කරමින් උචිත ආලෝකය, උෂ්ණත්වය හා ආර්ද්‍රතාව පවත්වා ගැනීමයි. එමගින් පුරාවස්තුව අවර්ණ වීම, පතුරු යෑම, ඉරි තැලීම වැනි තත්වයන් අවම කර ගත හැකි ය. විශේෂයෙන් කොටස් එකතු කර සංරක්ෂණය කර ඇති භාණ්ඩ සමබර ව ආධාරක තැබීම මගින් දීර්ඝ කාලයක් ආරක්ෂාකාරී ව තබා ගත හැකි ය. එමගින් ඇල වූ කොටස් ගැලවීම ඈත්වීම සිදු නොවේ. එ මෙන්ම එකමත නො ගැටෙන ආකාරයට තැන්පත් කිරීම ද සිදු කෙරේ.  මේ ආකාරයට මැටිබඳුන් සංරක්ෂණයේ දී සීගිරිය කෞතුකාගාරය තුළ මෙම සංරක්ෂණ විධික‍්‍රම භාවිත කරනු ලබයි.

ලෝහ භාණ්ඩ සංරක්ෂණය

කෞතුකාගාරය සතු කෞතුක භාණ්ඩ අතර කාබනික ද්‍රව්‍යවලින් නිර්මිත පුරාවස්තු අතර ලෝහමය භාණ්ඩ වැදගත් වේ. මෙම භාණ්ඩ දිරාපත්වීමට ඉතා ඉක්මනින් භාජනය වන අතර දිරාපත්වීමෙන් සම්පූර්ණයෙන් පාහේ වළක්වා ගත හැකි භාණ්ඩ නොවේ. යකඩ යුගයේ ආරම්භයේ සිට ම ලෝහ වර්ග භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට මානවයින් මැදිහත් වී ඇත. සීගිරිය ප‍්‍රදේශය යකඩ නිෂ්පාදන ප‍්‍රදේශයක්ව ප‍්‍රචලිත ව පැවති බවට සාධක ද ලැබී ඇත. එනම් අලකොලවැව යකඩ උදුන මේ ප‍්‍රදේශයෙන් හමු ව ඇති බැවින් යකඩ හා අනෙකුත් ලෝහ වර්ග වලින් නිර්මිත පුරාවස්තු බොහොමයක් සීගිරිය කෞතුකාගාරය සතුව පවතී. ලෝහමය පුරාවස්තු දිගු කාලයක් තිස්සේ පොළව යට වැළලි තිබීම හේතුවෙන් එ්වා පොළව මතුපිටට ගත් වහා ම වාතාවරණයේ වෙනස් වීම නිසා දිරාපත්වීම දරුණු වේ. එ් නිසා එ වැනි ලෝහමය පුරාවස්තු සංරක්ෂණය සඳහා සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණ විධික‍්‍රම ද විවිධ වේ.

යකඩ

පුරාවිද්‍යා කැනීම් හා ගවේෂණ මගින් අනාවරණය කරගත් යකඩ ලෝහයෙන් නිෂ්පාදිත පුරාවස්තු බොහොමයක් සීගිරිය කෞතුකාගාරය තුළ වේ. මේවා විවිධාකාර හේතුන් නිසා භෞතික හා රසායනික වශයෙන් විපර්යාසයන්ට ලක්ව විනාශ වී හෝ දිරාපත් වී ඇත. එ් නිසා එවැනි පුරාවස්තු සඳහා කෞතුකාගාර රසායනාගාරය තුළ දී යාන්ත‍්‍රික මෙන්ම නිවාරක සංරක්ෂණය සිදු කරනු ලබයි. යකඩ පුරාවස්තුවක් සංරක්ෂණය කිරීමේ දී මනා සංයමයකින් හා අවබෝධයකින් කළ යුතු භාරදුර කාර්යයකි. මෙහි දී පියවර ගණනාවකි. සීගිරිය කෞතුකාගාරය තුළ යකඩ පුරාවස්තු සංරක්ෂණය සිදු කරනු ලබන විධික‍්‍රම මෙබඳු වේ.

මුල්ම පියවර වන්නේ පුරාවස්තුව සංරක්ෂණය කිරීමට ප‍්‍රථම වාර්තාගත කිරීමයි. මෙය සංරක්ෂණයේ දී ඉතා වැදගත් කාර්යයක් වේ. වාර්තාගත කිරීම සිදු කරනු ලබන්නේ ඉහතින් සඳහන් කළ මැටි බඳුන් සංරක්ෂණයේ දී අනුගමනය කරනු ලබන වාර්තාගත කිරීමේ ක‍්‍රමවේද ඔස්සේ වේ. මේ වාර්තාගත කිරීමෙන් අනතුරුව විද්‍යාත්මකව සිදුකරන පර්යේෂණ හරහා පුරාවස්තුවට මැදිහත්වීම සිදු වේ. යකඩ පුරාවස්තුවක් සංරක්ෂණයට යොමු කිරීමට ප‍්‍රථම එහි විඛාදන තත්වය හඳුනා ගැනීම වැදගත්ය. යකඩ පුරාවස්තු විඛාදනය සිදුවන ආකාර තුනකි.

  • වියළි තත්වයන් යටතේ
  • තෙත් තත්වයන් යටතේ
  • විද්‍යුත් රසායනික තත්වයන් යටතේ

මෙම විඛාදන තත්වය හේතුවෙන් සිදුවන මළ බැඳිම හඳුනාගත් පසු සංරක්ෂණ තත්වය ඉතා පහසු වේ.

මෙහි දී පුරාවස්තුව පිරිසිදු කිරීම සංරක්ෂණයේ පළමු පියවරයි. එය යාන්ත‍්‍රික හා රසායනික වශයෙන් ක‍්‍රම දෙකට සිදු කරනු ලබයි. යාන්ත‍්‍රික ක‍්‍රමයේ දී කැපුම් තල මගින් පුරාවස්තුව පිරිසිදු කරනු ලබයි. එහි දී පුරාවස්තුව වටා ඇති සියුම් දුවිලි අංශු හා ලෝහ මල බැදීම් ඉවත් කිරීම සඳහා අත්කාච හා අන්වීක්ෂ වැනි උපකරණ හා සියුම් කෙදි සහිත බුරුසු භාවිත කෙරේ. මෙම කෞතුකාගාරය තුළ මේ පිරිසිදු කිරීම සඳහා  Vibration Tool, Dremal උපකරණ ද යොදා ගනී. මෙහි දී යකඩ භාණ්ඩයේ ප‍්‍රමාණය හා තත්වය අනුව තද උපකරණ භාවිත නොකරයි. මන්ද එමගින් පුරාවස්තුවට සීීරීම්, පැල්ලම්, කැපීම් ඇතිවිය හැකි බැවිනි. මේ පිරිසිදු කිරීමෙන් පසුව රසායනික පිරිසිදු කිරීමේ දී ඇසිටෝන් නම් රසායනිකය 5% පමණ ප‍්‍රමාණයක් ඉන්ජෙක්සන් සිලින්ඩරයකින් ස්පේ‍්‍ර කර සවි වූ පසු පිරිසිදු කරනු ලබයි. මෙම ක‍්‍රියාවලිය සිදු කරනු ලබන්නේ වඩාත් දුර්වල තත්වයෙන් වූ යකඩ පුරාවස්තූන් සඳහා වේ.

යකඩ පුරාවස්තු පිරිසිදු කිරීමේ දී ලවණ ඉවත් කිරීම ප‍්‍රධාන කාර්යයක් වේ. මෙම ලවණ ඉවත් කිරීම කරනු ලබන්නේ ආශ‍්‍රැත ජලය උපයෝගී කරගෙනයි. මෙහි දී ආශ‍්‍රැත ජලයට රසායනික ද්‍රව්‍යය වැඩි වශයෙන් භාවිත නොකරනු ලබයි. විශාල පුරාවස්තුවක ලවණ ඉවත් කිරීමේ දී විද්‍යුත් විච්ෙඡ්දන ක‍්‍රමය හරහා එය සිදු කරනු ලබයි. යකඩ පුරාවස්තුවේ මතුපිට ඉතා ඝණ තට්ටුවක් ලෙස බැෙදන අපද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලබාදීම සිදු කරනු ලබයි.

පිරිසිදු කිරීමෙන් අනතුරුව මතුපිට ආලේපන යෙදීම සිදු කරනු ලබයි. මෙම මතුපිට ආලේපන යෙදීම සිදු කරනු ලබන්නේ වායු සමීකරණ යටතේ වේ. මෙහි දී මතුපිට ආලේපන ලෙස, මැණික් ඇසිඞ් ආලේපන හා ෆිෂ් ඔයිල් ආලේපන (Fish oil) වැක්ස් වර්ග යොදාගනු ලබයි. මෙහිදී මතුපිට ආලේපන යෙදීමේ දී පැරලොයිඞ් B 44 දියරය 3% පමණ කිහිපවරක් භාවිත කරනු ලබයි. යකඩ පුරාවස්තුවේ කැඞී ගිය කොටස් ඇලවීම සිදු කිරීමේ දී ඇරල්ඩයිට් ගම් යොදා ගනී. එනම් ඇරල්ඩයිට් රෙසින හා ඇරල්ඩයිට් හාඞ්නර් ගම් දෙක 1:1 මිශ‍්‍රණයක් සකස් කර ඇලවීම් සිදු කරනු ලබයි.

මෙසේ පුරාවස්තුව පිරිසිදු කිරීමෙන් හා මතුපිට ආලේපන සිදු කිරීමෙන් අනතුරුව පවතින්නේ රසායනාගාර ගබඩාවේ තැන්පත් කිරීමයි. මේ තැන්පත් කිරීමේ දී පුරාවස්තුව උදෙසා නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදය ඔස්සේ සිදු කළ යුතුයි. එනම්, භාණ්ඩය තබන ගබඩාවේ පරිසරය නඩත්තු කරමින් ආලෝකය, ආර්ද්‍රතාව, උෂ්ණත්වය, ක්ෂද්‍ර ජීවීන්ගේ බලපෑම් සිදු නොවන ආකාරයට සැලකිලිමත් විය යුතුය. එමගින් පුරාවස්තුවේ වර්ණය වෙනස් නොවිය යුතුය. තැන්පත් කිරීමේ දී භාවිත රසායනික සියල්ල අවර්ණ විය යුතුය. භාවිත රසායනකි ද්‍රව්‍යය කාලයත් සමග ප‍්‍රතික‍්‍රියා නොකිරිය යුතු වේ. මේ නිසා ගබඩා කිරීමේ දී වායු රෝධක පෙට්ටි මත සිලිකා ජෙල් සමග වායු සමීකරණ තත්ව යටතේ පුරාවස්තුව තැන්පත් කරනු ලබයි. මේ ආකාරයට යකඩ පුරාවස්තු සංරක්ෂණය මේ සංරක්ෂණ විධික‍්‍රම යටතේ සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

තඹ

ලෝහමය පුරාවස්තු අතර තඹ ලෝහයෙන් යුත් පුරාවස්තු බොහොමයක් සීගිරි කෞතුාගාරයේ කෞතුක වස්තු අතර වේ. එනම් බුද්ධ ප‍්‍රතිමා, බෝධිසත්ව ප‍්‍රතිමා, මහා මේරුවල ධාතු කරඬුව ආදී වශයෙනි. මේ සියලු තඹ පුරාවස්තු සංරක්ෂණය කිරීමේ දී කෞතුකාගාරයක සංරක්ෂණ විධික‍්‍රම කිහිපයක් අනුගමනය කරනු ලබයි. එහි දී යකඩ පුරාවස්තු සේම පියවර කිහිපයකින් යුක්ත ය. එම පියවරයන් අතර පළමු පියවර වන්නේ වාර්තාගත කිරීමයි. ඉන්පසු පිරිසිදු කිරීම ආරම්භ කරනු ලැබේ. මෙම පිරිසිදු කිරීමට ප‍්‍රථම තඹ පුරාවස්තුවේ විඛාදන තත්වය හඳුනා ගත යුතුය. තඹ පුරාවස්තුවක් විඛාදනය වීමේ ආකාර කිහිපයකි. එනම්, 1. වායුගෝලීය තත්වයන් යටතේ හා 2. භූ අභ්‍යන්තරික තත්වයන් යටතේ ය. මෙවැනි විඛාදන තත්වයන් මත තඹ පුරාවස්තු දිරාපත් වීමට දැඩි සේ බලපානු ලබන රෝග වැළදේ. තඹ ලෝකඩ රෝගය එ වැන්නක් වේ. මෙම රෝගය වැළදීමෙන් සිදුවන්නේ පුරාවස්තුව හිල්වීමය. මුලින්ම තඹ පුරාවස්තුවේ කුඩා කුඩා ගැටිති සෑදේ. පසුව එ්වා කැඞී ලෝහයත් සමගම ඔක්සිජන් ක‍්‍රියාකාරීත්වය වැඩි වී සිදුරු නිර්මාණය වේ. මෙසේ විඛාදන තත්වයන් හදුනාගත් පසුව පුරාවස්තුව පිරිසිදු කිරීම කළ යුතු වේ.

අනතුරු ව පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. මෙහි දී යකඩ පුරාවස්තු සේම කැපුම් තල භාවිත කරමින් පුරාවස්තුවේ ලෝහ මල ඉවත් කෙරේ. සියුම් අංශු වැනි මල ඉවත් කිරීම සඳහා අන්වීක්ෂ හෝ අත්කාච හා සියුම් කෙදි සහිත පින්සලක් ද භාවිත කරනු ලබයි. අපද්‍රව්‍යය කුඩු වශයෙන් පවතීනම් ඇසිටෝන් දමා සේදීම වැදගත්ම කාර්යයකි. මෙහි දී 100% සුපිරිසිදු ඇසිටෝන් පමණක් භාවිත කෙරේ. මේ පිරිසිදු කිරීමෙන් අනතුරුව 3% BTA සහ එතිල් ඇල්කොහොල් සහිත බීකරයක පුරාවස්තුව තැන්පත් කර වැකුම් මැෂින් එකක තප්පර 20ක පමණ ප‍්‍රමාණයක් තබනු ලබයි. පැය 8ක පමණ ප‍්‍රමාණයක් එ් ද්‍රාවණයේ ම පුරාවස්තුව තැබූ විට පුරාවස්තුවේ ඇති අයන සමග රසායනිකය එකතු වී ශක්තිමත් සංකීර්ණයක් නිර්මාණය වීමක් සිදු වේ. මෙහි දී පුරාවස්තුව මත BTA වැඩි වශයෙන් සුදු පැහැයෙන් තැන්පත් වී ඇතිනම් 100% එතිල් ඇල්කොහොල් යොදා පුරාවස්තුව සේදීම ඉතා සුදුසු වේ. ඉන් අනතුරුව සිලිකා ජෙල් සමග පුරාවස්තුව භාජනයකට දමා ටිෂු කඩදාසි මත ඔබා වේළගනු ලබයි. මෙය දින 3ක පමණ කාර්යයකි. අනතුරු පියවර වන්නේ මතුපිට ආලේපන යෙදීමයි. මෙහි දී තඹ පුරාවස්තුවේ ඉන්කලැක් දියරය 3%ක් ටොලූවින් ද්‍රාවණයේ දියකරගෙන මතුපිට ආලේපනයක් ලෙස තඹ පුරාවස්තුව මත පින්සලක් ආධාරයෙන් ආලේපනය කරනු ලබයි. මෙම ආලේපනය මගින් පුරාවස්තුවේ අධික දිලිසීමක් සිදු නොවන ආකාරයට කිරීමට වග බලා ගත යුතු වේ. තඹ පුරාවස්තුවලට සිදු කරනු ලබන නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදය වනුයේ සිලිකා ජෙල් තැන්පත් කරනු ලැබූ අල්මාරි මත ගබඩා කිරීම වේ.

රත‍්‍රන්

රත‍්‍රන් යනු ලෝහමය පුරාවස්තු අතරින් දිරායාම අවම පුරාවස්තුන් වේ. මෙය පොළව මත දිගු කාලයක් තිස්සේ තැන්පත්ව තිබුණත් සියලූම වර්ගයේ විඛාදන තත්වයන්ට ඔරොත්තු දෙන ලෝහයක් ලෙස සැලකේ. මේ නිසා කෞතුකාගාරය තුළ දී රත‍්‍රන් සංරක්ෂණය සඳහා විධික‍්‍රම රාශියක් අවශ්‍ය නොවේ. සීගිරිය කෞතුකාගාරය තුළ දී රත‍්‍රන් ලෝහමය පුරාවස්තු සංරක්ෂණය සඳහා යොදා ගනු ලබන්නේ සරළ විධික‍්‍රම කිහිපයකි. එහි දී යාන්ත‍්‍රික රසායන ක‍්‍රමයේ දී රත‍්‍රන් ලෝහමය පුරාවස්තුව මුලින්ම ආශ‍්‍රැත ජලයෙන් පිරිසිදු කරනු ලබයි. මෙහි දී ඇල්කොහොල් භාවිත කර පිරිසිදු කිරීම ද සිදු කරනු ලබයි. මෙමගින් සිදු කරනු ලබන්නේ එම පුරාවස්තුවේ තිබෙන අපද්‍රව්‍යය ඉවත් කර සෝදා හැරීම වේ. මෙහි දී නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදයන් ද භාවිත කරනු ලබයි. ෙමය මෘදු ලෝහයක් වන බැවින් පරිහරණයේ දී හා ඇසිරීමේ දී ඉතා ආරක්ෂාකාරීව සිදු කරනු ලබයි. මේවා ඇසිරීමේ දී ටිෂූ කඩදාසිවල ඔතා තැන්පත් කරනු ලබයි. මේවා තැන්පත් කරනු ලබන්නේ වෙනත් ලෝහමය පුරාවස්තු සමග ඈත් කර වේ.

රිදී

ලෝහමය පුරාවස්තු අතර රිදීමය ලෝහයෙන් නිර්මිත පුරාවස්තු සීගිරිය කෞතුකාගාරය තුළ ද වේ. එම පුරාවස්තු සංරක්ෂණයේ දී විවිධ විධික‍්‍රම භාවිත කරනු ලැබේ. මෙහි දී සිදුකරනු ලබන යාන්ත‍්‍රික සංරක්ෂණ ක‍්‍රමයේ දී පුරාවස්තු පිරිසිදු කිරීම සිදුකරනු ලබයි. රිදී පුරාවස්තු පිරිසිදු කරනු ලබන්නේ ඩිටර්ජන් මිශ‍්‍ර ජලයෙනි. එසේ පිරිසිදු කළ පමණින් තද පැල්ලම් ඉවත් නොවන්නේනම් 1% පමණ පෝමික් ඇසිඞ් භාවිත කර පිරිසිදු කිරීම කරනු ලබයි. මෙම රසායනිකය යොදා පිරිසිදු කළත් එය ඉවත් වන තුරු ආශ‍්‍රැත ජලයෙන් සෝදනු ලබයි. ඉන් අනතුරුව සිලිකා ජෙල් මත පුරාවස්තුව තැන්පත් කර වියළීම සිදු කරනු ලබයි. රිදී පුරාවස්තුවලට මතුපිට ආලේපන යෙදීමක් සිදු නොකරයි. මන්ද එවිට පුරාවස්තුවට සාපේක්ෂව මතුපිට ආලේපනය මැනවින් දිස්වීමට පටන් ගන්නා බැවිනි. මෙහි දී රිිදී පුරාවස්තු සංරක්ෂණය සඳහා යොදා ගනු ලබන නිවාරක සංරක්ෂණ ක‍්‍රමවේදයන් ද වේ. එනම් උෂ්ණත්වයල ආලෝකය හා ආර්ද්‍රතාව පාලනය කරමින් ඇසුරුම් කිරීමයි. මෙහි දී රිදී භාණ්ඩ ටිෂූ කඩදාසි මත ඔතා මෙට්ට යෙදු අල්මාරියක් මත තැන්පත් කරනු ලබයි.

ශිලා පුරාවස්තු සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තූන් අතර ශිලා මාධ්‍යයෙන් නිර්මිත පුරාවස්තු බොහොමයක් වේ. එම පුරාවස්තු සඳහා යොදාගත් ශිලා අතර කිරිගරුඬ, කළුගල්, ඩොලමයිට්ල හුණුගල් වේ. මේ අතරින් බොහොමයක්ම ඇත්තේ කිරිගරුඬ වලින් නිර්මිත පුරාවස්තූන්ය. මේ එක් එක් මාධ්‍යයන්ට අයත් පුරාවස්තු සංරක්ෂණ විධික‍්‍රම ද විවිධ වේ.

කළුගල්

කළුගල්වලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය කිරීම පියවර කිහිපයකින් යුක්තය. මේවා පිරිසිදු කිරීමේ දී සාමාන්‍ය වශයෙන් භාවිත කරනුයේ ආශ‍්‍රැත ජලයයි. නමුත් විශාල පිළිමවලට ආශ‍්‍රැත ජලය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වන බැවින් සාමාන්‍ය ජලයෙන් සෝදනු ලබයි. ආශ‍්‍රැත ජලය භාවිත කර පිරිසිදු කිරීමේ දී කෙදි සහිත බුරුසුවක් භාවිත කර අපද්‍රව්‍යය ඉවත් කිරීම සිදු කෙරේ. මෙහි දී තදින් බැදී ඇති දියසෙවල, ලයිකන ඉවත් කිරීම සඳහා පල්ප් එකක් දමනු ලබයි. පල්ප් එකක් දැමීමේ අරමුණ වන්නේ නිර්වායු තත්වයක් ඇති කිරීමයි. මෙහි දී බොහෝ දුරට යොදා ගනු ලබන්නේ ඇමෝනියා මිශ‍්‍ර පල්ප් එකකි. මේ පල්ප් එක සාදා ගනු ලබන්නේ ටිෂු කඩදාසි කුඩා කුඩා කැබලිවලට කඩා ඇමෝනියා ද්‍රාවණය 8% ප‍්‍රමාණය සාදාගෙන එයට පත්තර පොඟවනු ලබයි. මෙසේ සදාගත් පල්ප් එක පිළිමයේ තවරනු ලබයි. මේ ආකාරයට යොදනු ලැබු පල්ප් එක පැය 12ක් පමණ වේලාවක් තබා සාමාන්‍ය ජලය තැනින් තැන ස්පේ‍්‍ර කර පැය කිහිපයක් තබනු ලබයි. යෙදු පල්ප් එක පිළිමයට හොදින් සවි වී ඇත්නම් ආශ‍්‍රැත ජලයෙන් සෝදනු ලැබේ. ආශ‍්‍රැත ජලය වැඩි වශයෙන් අවශ්‍ය වන විටෙක සාමාන්‍ය ජලය යොදාගෙන සේදීම සිදු කරනු ලබයි. පිළිමයේ මඩ පැල්ලම් තදින් පවතීනම් ඩිටර්ජන් භාවිත කරනු ලැබේ. ඉවත් කිරීමට අපහසු තද මඩ පැල්ලම් ඇති විටෙක හයිඩ‍්‍රජන් පැරොක්සයිඞ් භාවිත කරනු ලබයි. මෙය භාවිත කිරීමේ දී ඉතා පරිස්සමින් හා ආරක්ෂාකාරීව සිදු කළ යුතුය. මන්ද යොදාගනු ලබන හයිඩ‍්‍රජන් පැරොක්සයිඞ් මඩ මත ක‍්‍රියාත්මක වේ. මෙමගින් පිළිමයේ ඇතුළත ඇති මඩ ජලයත් සමගම පිටතට පිට කිරීමට උත්සහ දරන නිසා පුරාවස්තුවේ සිදුරු නිර්මාණය විය හැකිය.

සංරක්ෂණය කිරීමේ දී අඩු කොටස් පිරවීම හෝ කැඞී ගිය කොටස් එකට එකතු කිරීම සිදු කරනු ලබයි. මෙහි දී මල නොබැදෙන වානේ හෝ සුදු යකඩ කම්බි භාවිත කර ඇරලොයිඞ් ගම් යොදාගෙන කොටස් එකට එකතු කරනු ලබයි. අඩු කොටස් පිරවීම සඳහා කොලපු මිශ‍්‍රණය සාදා ගැනීමේ දී පැරලොයිඞ් 50% හා හුණු කුඩු භාවිත කර මිශ‍්‍රණයක් සාදා ගනු ලබයි. මේවාට හුණු දියර ද යොදා ගනී. මේ ආකාරයට කළු ගලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය සඳහා සංරක්ෂණ විධික‍්‍රම සීගිරිය කෞතුකාගාරය තුළ භාවිත කරනු ලබයි.

හුණුගල්

පාෂාණවලින් නිර්මිත පුරාවස්තු අතර හුණුගල්වලින් නිර්මිත පුරාවස්තු බොහොමයක් සීගිරිය කෞතුකාගාරය තුළ වේ. මෙම පුරාවස්තු අතර වැඩි වශයෙන් ඇත්තේ පිළිම වේ. මේ හුණුගලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය කිරීමේ දී පළමු පියවර වන්නේ පිරිසිදු කිරීමයි. එහි දී කළුගල්වලින් නිර්මිත පුරාවස්තු සංරක්ෂණය සිදු කරන ආකාරයට ම පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. හුණුගල් පිළිම සංරක්ෂණය කිරීමේ දී අඩු කොටස් පිරවීම සඳහා විශේෂ ක‍්‍රමයක් අනුගමනය කරනු ලබයි. එනම් හුණුගලින් නිර්මිත පුරාවස්තුවට සමාන පාෂාණයක් තෝරාගෙන එය විවිධ ප‍්‍රමාණයන්ට කුඩු කර ගනී. ඉන් පසු එ්වා ප‍්‍රමාණයන්ට අනුව වර්ග කරගෙන මිශ‍්‍ර කර ගෙන එම මිශ‍්‍රණයට බෙලි කටු සහ හුණු ගල් කැබලි ගෙන එයට 50% පැරලොයිඞ් ඇසිටෝන් ද්‍රාවණයෙන් මිශ‍්‍රණයක් සාදා අඩු කොටස් පුරවනු ලබයි. හුණුගල් පිළිම සංරක්ෂණය කිරීමේ දී එකට සම්බන්ධ කිරීමට කලින් සිමෙන්ති භාවිත කරන ලදී. නමුදු වර්තමානයේ එ් සඳහා සිමෙන්ති භාවිත නොකර ඉහත මිශ‍්‍රණය යොදාගනු ලබයි. මෙම කෞතුකාගාරයේ පිළිම අඩු කොටස් පිරවීම සඳහා එ් මිශ‍්‍රණය යොදා ගනී. මේ ආකාරයට හුණු ගල් පිළිම සංරක්ෂණය කිරිමේ සංරක්ෂණ විධික‍්‍රම භාවිත කරනු ලබයි.

අස්ථි සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ ඇති පුරාවස්තූන් අතර මානව අස්ථි ඉතා වැදගත් වේ. මෙම අස්ථි බොහෝ ප‍්‍රමාණයක් මෙම කෞතුකාගාරයේ සංරක්ෂණ විධික‍්‍රම යටතේ සංරක්ෂණය සිදු කර ඇත. එ් අතරින් ප‍්‍රදර්ශන මැදිරියේ තැන්පත් කර ඇති සීගිරි පොතාන ප‍්‍රදේශයෙන් හමු වූ මානව ඇටසැකිල්ල වැදගත් වේ. ඊට අමතරව සංරක්ෂණ රසායනාගාරය තුළ අස්ථි 5ක් පමණ සංරක්ෂණයට බඳුන් කර තැන්පත් කර ඇත. එ් නිසාම සීගිරිය කෞතුකාගාරයේ අස්ථි සංරක්ෂණ විධික‍්‍රම යොදාගන්නේ කෙසේ ද යන්න විමසීම වැදගත් වේ.

අස්ථි සංරක්ෂණය කිරීමේ දී ද මුලික පියවරයන් කිහිපයක් අනුගමනය කරනු ලබයි. අස්ථි දිගු කාලයක් තිස්සේ පොළව මතුපිට තැන්පත්ව ඇත්තේ කැබලි බවට පත් වී වෙන් වෙන් වශයෙන් පසට එකතු වීමෙනි. මෙය මතුපිටට ගැනීම සඳහා මුලික සංරක්ෂණ ප‍්‍රථමාධාර කිහිපයක් අනුගමනය කළ යුතු වේ. අස්ථි පොළව මතුපිටට ගැනීමේ දී පෙට්ටියක් ආධාරයෙන් ගොඩට ගනු ලබයි. ලෑලි යොදා පෙට්ටියක් සකස් කරගෙන එය අස්ථිය යටට බහා පස් සමඟ ම මතුපිටට ගනු ලබයි. සංරක්ෂණයේ මුලික පියවරක් වන්නේ අස්ථි කොටස් මතුපිටට ගැනීම වන හෙයින් එය අසීරු කාර්යයක් වේ. අස්ථි මතුපිටට ගෙන සංරක්ෂණ රසායනාගාරය වෙත රැගෙන ආ පසු සංරක්ෂණයේ පළමු පියවර වන්නේ පිරිසිදු කිරීමයි. මෙම පිරිසිදු කිරීමේ දී එතිල් ඇල්කොහොල් 50% ප‍්‍රමාණයක් ආශ‍්‍රැත ජලයේ මිශ‍්‍ර කර පුළුන් දැවටු ඉරටු අනුසාරයෙන් පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. මෙහි දී අස්ථිය පස් සමගම රැගෙන ආ බැවින් වටේ තිබෙන පස් ඉවත් කර අස්ථි කොටස් පමණක් මතු කර ගැනීම සිදු කරනු ලබයි. අස්ථි පිරිසිදු කිරීමෙන් පසු 3-5% දක්වා වූ ඇසිටෝන් සහ පැරලොයිඞ් B44 භාවිත කර අස්ථි මත ආලේප කිරීම සිදු කරනු ලබයි. ඇසිටෝන්වලට අමතරව ටොලූවින් ද ආලේප ලෙස භාවිත කරනු ලබයි. තෙත් ගතියෙන් වැඩි අස්ථි සඳහා ඇසිටෝන් ද දැඩි වියළි බවක්න් යුක්ත අස්ථි සඳහා ටොලූවින් 3-5% ප‍්‍රමාණයෙන් භාවිත කරනු ලබයි. මේ ආකාරයට සංරක්ෂණ විධික‍්‍රම සීගිරිය කෞතුකාගාරයේ අස්ථි සංරක්ෂණය සඳහා භාවිත කරනු ලබයි.

ගඩොල්/උළු සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ ඇති පුරාවස්තු අතර ගඩොළින් හා උළුවලින් නිර්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ බොහොමයක් වේ. මෙම පුරාවස්තු අකාබනික මාධ්‍යයන්ගෙන් නිර්මිත පුරාවස්තු වන හෙයින් භාවිත සංරක්ෂණ විධික‍්‍රම එතරම් අසීරු නොවේ. මේ නිසාම සරළ විධික‍්‍රම කිහිපයක් සීගිරිය කෞතුකාගාරය තුළ භාවිත කරනු ලබයි. මෙහි දී පළමු පියවර වන්නේ පුරාවස්තුව පිරිසිදු කිරීමයි. එහි දී පුරාවස්තුව ආශ‍්‍රැත ජලයෙන් සෝදනු ලබයි. මේ පිරිසිදු කිරීමේ දී ගඩොළු පුරාවස්තුවේ පස් ඉහිරීම සිදුවිය හැකිය. නමුදු පෙරා ගනු ලැබු හොඳ පසකින් එය නිර්මාණය වී ඇත්නම් එසේ ඉහිරීමක් සිදු නොවේ. ගඩොළු පිරිසිදු කිරීමේ දී නළ ජලය පවා භාවිත කළ හැකිය. නමුදු සීගිරිය කෞතුකාගාරයේ එ් සඳහා යොදා ගනු ලබන්නේ ආශ‍්‍රැත ජලයයි. මන්ද යත් සීගිරිය ප‍්‍රදේශයේ නළ ජලය කිවුල් ගතියකින් යුක්ත වන බැවිනි. උළුමය පුරාවස්තු පිරිසිදු කිරීමේ දී එ්වා දුර්වල තත්වයේ පවතීනම් ආශ‍්‍රැත ජලයට 50% ඇල්කොහොල් ද්‍රාවණය මිශ‍්‍ර කර පිරිසිදු කරනු ලබයි. ඇල්කොහොල් යොදා පිරිසිදු කිරීමේ දී උළුකැටවල වර්ණ දියවීම ද අවම කර ගත හැකිය. ගඩොළු හා උළු සංරක්ෂණය කිරිමේ දී කොටස් පිරවීමක් සිදු නොකරනු ලබයි. මේ ආකාරයට පිරිසිදු කිරීමෙන් අනතුරුව නිවාරක සංරක්ෂණ ක‍්‍රමය යටතේ ගබඩා කිරිම සිදු කරනු ලබයි.

රෙදි සංරක්ෂණය

සීගිරිය කෞතුකාගාරයේ වෙනත් ද්‍රව්‍යය වලින් නිර්මිත පුරාවස්තු අතර රෙදි වලින් නිර්මිත පුරාවස්තු වැදගත් වේ. මෙම කෞතුකාගාරයේ රෙදි වලින් නිර්මිත එක් පුරාවස්තුවක් පමණක් ප‍්‍රදර්ශනයට තබා ඇත. එය හිස් පළඳනාවකි. වර්තමානය වන විට සීගිරිය කෞතුකාගාරයේ රෙදි සංරක්ෂණය කරනු ලබන්නේ වෙනත් ස්ථානයකින් සංරක්ෂණ අරමුනින්ම රැගෙන එන පුරාවස්තු වේ. මහනුවර කෞතුකාගාරයෙන් සංරක්ෂණය සඳහාම එවනු ලැබු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයට අයත් රෙදි කැබැල්ලක් මෙම කෞතුකාගාරය තුළ දී මෑතක දී සංරක්ෂණය කර ඇත. රෙදි සංරක්ෂණය සඳහා යොදා ගනු ලබන්නේ වෙනස්ම ආකාරයේ සංරක්ෂණ ක‍්‍රමවේදයකි.

සංරක්ෂණය සිදු කිරීමට ප‍්‍රථමයෙන් පැතලි මේසයක් උඩ විශාල වීදුරුවක් හෝ විනිවිද පෙනෙන පොලිතින් කවරයක් අතුරාගනු ලබයි. රෙදි යනු සියුම් මාධ්‍යයක් වන බැවින් ආරක්ෂාකාරීව හා දැඩි පරිස්සමින් සංරක්ෂණය කළ යුතු වේ. මෙහි දී මුලින්ම පිරිසිදු කරනු ලබයි. එ් සඳහා ආශ‍්‍රැත ජලය භාවිත කරනු ලබයි. ආශ‍්‍රැත ජලයට ඇල්කොහොල් 50% හා ඩිටර්ජන් යෙදීම මගින් ඉතා කුඩා දූවිලි අංශු පවා ඉවත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. මෙසේ පිරිසිදු කිරීමෙන් පසු අඩු තැන් පිරවීම සිදු කරයි. අඩු තැන් පිරවීමේ දී අම්ල රහිත පැපනිස් ටිෂු කඩදාසි භාවිත කරනු ලබයි. පැපනිස් ටිෂු කඩදාසි ඇලවීමේ දී SMC ගම් එක භාවිත කරනු ලබයි. මෙම ගම් ශාක කෙදිවලින් නිපදවාගත් ගම් එකක් වේ. මෙය ජලයේ දිය කර ගෙන භාවිත කරනු ලබයි. මෙය කුඩු වර්ගයක් ලෙස වේ. මෙය දිලීර, බැක්ටීරියාවන් ක‍්‍රියාත්මක නොවන ලෙස එ්වාට ඔරොත්තු දෙන ආකාරයට මෙම ගම් එක නිපදවා ඇත. එසේම මේ සඳහා අම්ල රහිත පැබ්රික්ග්ලූ භාවිත කළ හැකිය. මේ ආකාරයට යාන්ත‍්‍රික සංරක්ෂණ යටතේ සිදු කරනු ලබන රෙදි සංරක්ෂණය නිවාරක සංරක්ෂණය යටතේ තැන්පත් කරනු ලබයි. මෙහි දී ඇසිරුම් ක‍්‍රමයක් ලෙස අමු රෙදිවල ඔතා තබනු ලබයි.

මේ ආකාරයට සීගිරිය කෞතුකාගාරයේ විවිධ මාධ්‍ය වලින් නිර්මිත පුරාවස්තු කෞතුක වස්තු සංරක්ෂණ විධික‍්‍රම යටතේ සංරක්ෂණය සිදුවන ආකාරය හඳුනා ගත හැකිය. සීගිරිය කෞතුකාගාරයේ සංරක්ෂණයට බඳුන් කරනු ලබන විශේෂ පුරාවස්තු හා සංරක්ෂණයට බඳුන් කර ප‍්‍රදර්ශනය කරනු ලැබු පුරාවස්තු සම්බන්ධයෙන් මේ වන තෙක් විශේෂ අවධානයක් යොමු වී නොමැත. පුරාවිද්‍යා විෂය ක්ෂේත‍්‍රයේ දී නන් අයුරින් කතාබහට ලක්වන හා පර්යේෂණයන්ට බඳුන් වන විශේෂ පුරාවස්තු කිහිපයක්ම මෙම කෞතුකාගාරය සතු සංරක්ෂණ විධික‍්‍රම ඔස්සේ සංරක්ෂණය වී ඇත. විශේෂයෙන් පොතාන මානව අස්ථි, ඉබ්බන්කටුවේ මැටි බඳුන්, මහා ශිලා සුසාන මැටි බඳුන්, අලකොළවැව යකඩ උදුන ආදිය වේ. මේවා පිළිිබඳ නුදුරු අනාගතයේ දී ම අවධානය යොමු කිරීම වැදගත් වේ. මන්ද මෙම ප‍්‍රදේශයෙන් මතුකරගන්නා වූ විශේෂ පුරාවස්තු අනාගතයේදීත් මේ ආකාරයටම විධිමත් සංරක්ෂණ ක‍්‍රමවේදයන් හරහා සංරක්ෂණයට බඳුන් කර මහජන ප‍්‍රදර්ශනය සඳහා යොමු කිරීමට මෙම කෞතුකාගාරයට හැකි වනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙම කෞතුකාගාරය සතු සංරක්ෂණ විධික‍්‍රම පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් පර්යේෂණ දියත් කිරීමයි. මෙහි දී අධ්‍යයනයට ලක් කෙරුණේ සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තු පුරාවස්තු සංරක්ෂණ විධික‍්‍රම යටතේ සංරක්ෂණය වන ආකාරය පිිළිබඳවයි. එමගින් දැනට පවතින්නා වූ දුර්වලතාවන් ද හඳුනා ගැනීමට හැකි විය. සීගිරිය කෞතුකාගාරයේ කෞතුක වස්තු අළලා විශේෂ පර්යේෂණ අනාගතයේදීත් දියත් වීම ඉතා වැදගත් වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි ලේඛන නාමාවලිය

දිසානායක, ජී.ආර්. (2006), ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය, එස්. ඇන්ඞ් එස්. ප‍්‍රින්ටර්ස්, කොළඹ.
දිසානායක, ජී.ආර්. (1999), ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර හා සන්නිවේදනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
බිනරගම, දයානන්ද (2005), සීගිරි පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තු, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
සිල්වා, පී.එච්.ඩී.එච්. (1996), කෞතුකාගාර විද්‍යා මූලධර්ම, මහේන්ද්‍ර සේනානයක, දෙහිවල.
ලක්දුසිංහ, සිරිිනිමල් (2004), කෞතුක වස්තු සංරක්ෂණ මූලධර්ම, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව.
ශ‍්‍රී සුමංගල හිමි හා  බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා  (1996), මහාවංශය (සිංහල) එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
හේරත්, යමුනා හා රංජිත් හේවගේ (2005), ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර පෞරාණික භාණ්ඩ එකතූන් හා ප‍්‍රදර්ශන භාණ්ඩ නාමාවලිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

Chris, Caple (2011), Preventive Conservation in Museums, Routledge, Ahingdon.

Elston (1990), Technical and aesthetic consideration in the conservation of ancient ceramic and terracotta objects in the J.Paul Getty Museum

සඟරා
අබේසේකර, චන්දිම හා දර්ශනී මධුරප්පෙරුම (2005) ආරක්ෂක ක‍්‍රියාවලිය හා කෞතුකාගාර, කෞතුකාගාර 10,
කස්තුරිආරච්චි, අනූෂා හා ආර්.වී.එස්. අබේරත්න (2005), කෞතුකාගාර වෘත්තිය හා සංරක්ෂණ අභියෝග, කෞතුකාගාර 10,
ගම්ලත්, ඩී.පී. හා ලාල් දිසානායක (2005), කෞතුකාගාර ප‍්‍රදර්ශනය සහ භාරකරුවෙකුගේ මූලික කාර්යභාරය, කෞතුකාගාර 10,
පෙරේරා, නයනා හා කේ.ඞී.වී. චන්දිමාල් (2005), කෞතුක වස්තු ප‍්‍රලේඛනය, කෞතුකාගාර 10,
බණ්ඩාර, ආර්.එ්.ඩබ්.ආර්. (1999), කෞතුකාගාර සංකල්පයේ ආරම්භක පසුබිම හා කාර්යභාරය, වැළිපිළ 3,
රණවීර, මහින්ද (2000), ජාතික අධ්‍යාපන වැඩසටහනෙහිලා කෞතුකාගාරයෙන් ඉටු විය යුතු වැඩ කොටස, කොළඹ කෞතුකාගාරය 1877-1977 අනුස්මරණ කලාපය,
රුබේරු, රංජිත් (2000), ගතානුගතික තත්වයේ සිට කාර්මික සමාජයක් කරා ශීඝ‍්‍ර ලෙස වර්ධනය වන රටවල සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික හා තාක්ෂණික සංවර්ධනය සම්බන්ධයෙන් කෞතුකාගාරය සතු කාර්යභාරය, කොළඹ කෞතුකාගාරය, 1877-1977 අනුස්මරණ කලාපය,
වීරසිංහ, එච්. (2000), ශ‍්‍රී ලංකාවේ ජාතික ජීවිතය විෂයෙහි කෞතුකාගාරයේ කාර්යය, කොළඹ කෞතුකාගාරය, 1877-1977 අනුස්මරණ කලාපය,
හේවගේ, රංජිත් (2003), කෞතුකාගාර විද්‍යාව හා ශ‍්‍රී ලංකාවේ කෞතුකාගාර, කෞතුකාගාර 9 කලාපය
හේවගේ, රංජිත් (2005), කෞතුක වස්තු එකතුව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල, කෞතුකාගාර 11 කලාපය
හේවගේ, රංජිත් හා යූ.පී. චන්ද්‍රලතා (2005), ආපදා කළමනාකරණය සහ කෞතුකාගාර, කෞතුකාගාර 10 කලාපය

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X