Home Blog Page 6

IAHS මාර්ගගත දේශන මාලාව 08: විජයට එහා අපේ රටේ මිනිස්සු

”ලංකාවේ ජාතියේ ආරම්භකයා තමයි අපි විජය කියලා හඳුන්වන්නේ, එහෙම පුද්ගලයෙක් හිටියත් නැතත්. අද දේශනයේ අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ විජය කුමාරයා ලංකාවට එන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියා ද ? ඒ මිනිස්සු මොන වගේ අයද? එයාලා කෑම කෑවේ කොහොමද?  ඒ වගේ කරුණු ටිකක් සාකච්ඡා කරන්නයි. ඉතින් ඇත්තටම අද අපි පුරාවිද්‍යාව දේශනයේදී හදාරන්නේ ඉතිහාසයට පෙර යුගයේ  ඒ  කියන්නේ ප්‍රාග් ඉතිහාසය කියලා නැත්නම්  Prehistory අපි කියන්නේ ඒකටයි අද අපි ලංකාවේ අවුරුදු දෙදහස් පන්සියයකට ඉස්සෙල්ලා ඒ කියන්නේ විජය කුමාරයාට කලින් කාලයේ ලංකාවේ තත්ත්වය ගැන කතා කරන්නයි සූදානම් වන්නේ”

සවන් දෙන්න ශ්‍රී ලංකාවේ ප්‍රග් ඉතිහාසය පිළිබඳ සිංහලෙන් ඇති එකම ලිපි මාලාව archaeology.lk හරහා ඔබ වෙත ගෙනා හා ශ්‍රී ලංකා පුරාවිද්‍යාව ෆෙස්බුක් පිටුව හරහා ඔබට පුරාවිද්‍යා කෙටි සටහන් ගෙන ආ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල මහතාට.

මාර්ගගත උරුම දේශන මාලාව – අට වැනි පියවර විජයට එහා අපේ රටේ මිනිස්සු මැයෙන් චන්දිම බණ්ඩාර අඹන්වල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව, සම ප‍්‍රාරම්භක, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාව විසින් 2020 ජුනි 01 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවැත් වු දේශනයේ පටිගත කල වීඩියෝව.

IAHS මාර්ගගත දේශන මාලාව 12: ආරාමික ඉඩම් අයිතිය පිළිබද පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක්

”අපි පුරාවිද්‍යාඥයන්  වශයෙන් විශේෂයෙන්ම ඓතිහාසික උරුමයන් පිළිබඳව අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයන් වශයෙන්  සෑම විටම ඉන්නේ ආරාම ආශ්‍රිතවයි. අපි ට  ලෝවාමහාපායට, ගල් විහාරයට, දළදා මාලිගාවට වගේ ආරාම රැසකට නිතරම යන්න සිද්ධ වෙනවා. අපි හැම වෙලාවකම මේ දේවල් ගැන කතා කරනවා. අපේ උරුමයන් ගැන කතා කරනවා නමුත් ආශ්‍රිතව අපි කතා නොකරන අංශයක් තමයි ආරාම වල දේපල පිළිබඳව. අපි සෑම විටම එම ස්ථානවල වාස්තු විද්‍යාව, කලාව සහ එම ස්ථානවලින් හමුවන ශිලා ලේඛන ගැන එහෙමත් නැතිනම් ඉතිහාසය ගැන තමයි කතා කරන්නේ, නමුත් ආරාම ඉඩම් අයිතීන් පිළිබඳව කතාකරන්නේ අඩුවෙන්”

මාර්ගගත උරුම දේශන මාලාව – දොළොස් වැනි පියවර ආරාමික ඉඩම් අයිතිය පිළිබද පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක්: මහනුවර දළදා මාලිගාව ඇසුරින් ඇහුම්කන් දෙන්න, ආරාමික ඉඩම් අයිතිය පිළිබඳ දැන ගන්න, ශ්‍රී ලංකාවේ සිටිනා ඒ පිළිබඳ ප්‍රාමාණිකයෙකුට 2020 ජුනි 15 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, පුරාවිද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්ව විද්‍යාලය විසින් පැවැත් වු දේශනයේ පටිගත කල වීඩියෝව. මෙහි පළමු විනාඩි 45 දේශනය සඳහා හා ඉතිරි කාලය සාකච්ඡාව සඳහා වෙන්කර ඇත.

IAHS මාර්ගගත දේශන මාලාව 05: නව සිංහබාහු ප්‍රවාදය

අන්තර් සංස්කෘතික සංනිවේදක සහ චීන අධ්‍යනය පිළිබඳ පරික්ෂක ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා 2020 මැයි 21 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවැත් වු දේශනයේ පටිගත කල වීඩියෝව.

මහාවංශය ලිවීමේ අරමුණ,  මහා විහාරයේ කාර්යභාරයන්,  සිංහබාහු ප්‍රවාදය,  සිංහල ජාතියේ මූලාරම්භය,  සිංහලයන් සිංහයෙකුගෙන් පැවත එන්නෝ ද? සිංහබාහු තව පියා මැරුවේ ඇයි?  මහා විහාරයට විරුද්ධ නව මතවාද,  නව සිංහබාහු ප්‍රවාදය ඉදිරිපත් කිරීමේ අරමුණු ආදිය පිළිබඳව විස්තරාත්මකව දැනගැනීම පිණිස මෙම වීඩියෝව නරඹන්න.

02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. ‘බලංගොඩ උල් මෙවළම්’ (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන ‘ක්ෂුද්‍ර ශිලා’ නැතිනම් ඉතා කුඩා ගල් මෙවළමක් මේක. උල් ආයුධයක් වගේ තමා පේන්නේ. පිරිසිදු ගිනිගල් / තිරුවාණාවලින් සකස් කරල තියෙන මේ මෙවළ‍මේ හැම පැත්තෙම පතුරු ඉවත් කරල තමා හදල තියෙන්නේ. ගල් ආයුධ ගැන කතාකරද්දි ඒකට කියනා ‘බහු පතුරු ඉවත් කිරීම’ (poly facial) කියල.

මේ ගල් ආයුධ වර්ගය බුන්දල, බටදොඹලෙන වගේ තැන්වලිනුත් මහාචාර්ය රාජ් සෝමදෙව මැතිතුමාට උඩවලවේ නිම්ණයේ කළ පුරාවිද්‍යා කැනීම්වලිනුත් ලැබිල තියෙනවා. ලංකාවෙන්ම බැලුවොත් මේ වගේ ඒවා 7-8ක් විතර තමා හමුවෙලා තියෙන්නේ. මේ වගේ ඒවා ලංකාවෙන් හැර ලෝකයේ වෙනත් තැන්වලින් තාම හමුවෙලා නෑ. හැබැයි මේ හා තරමක් සමාන ගල් ආයුධ කීපයක් ඉන්දියාවේ ‘තෙරි සයිට්’ කියන පුරාවිද්‍යා සන්දර්බවලින් හමුවෙලා තියෙනවා කියලත් කියනවා.

මේ ගල් මෙවළම ගැන කතාකරන ඒ පිළිබඳ ලෝක පරිමාණයේ විද්වතෙක් වන සිරාන් දැරණියගල ආචාර්යතුමා කියල තියෙන්නේ මේ නායකත්වය පිළිඹිබු කරන සංඛේතයක්, වන්දනා කිරීම සඳහා භාවිත කළ (සමාජ මානව විද්‍යාවේ දි තොටම් කියල කියන්නේ) දෙයක් විය හැකියි කියල. ඒ හැර වෙනත් භාවිතයකට ගත්ත කියල හිතන්න අමාරුයි.

ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමාගේ Prehistoric Sri Lanka කියන පොතේ පිටකවරයෙන් තමා මේ රූපේ උපුටල ගත්තේ. සාධක නැති, ආත්මවාදි රාවනා කෙනෙක් පස්සේ කොර ගගහ යනවට වඩා ලෝකය ඉදිරියේ අපිට ආඩම්බර වෙන්න තියෙන දහස් ගණන් දේ අතුරින් මේ තවත් එකක් විතරයි කියලත් කියන්න කැමතියි. (මේක මහ රැවුලාගේ අහවල් එක කියල නම් කියන්න හදන්න එපා ඕන්න.)

01. ක්ෂුද්‍ර ශිලා මෙවලම්

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සන්දර්භයකින් අනාවරණය වු ක්ෂුද්‍ර ශිලා මෙවලමකි. අඩ සඳ ආකාර මෙය තිරුවාණා ගලකින් නිමවා ඇති අතර සෙන්ටිමීටර් 1.5ක් පමණ දිගු වේ. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගල් ආයුධ විශිෂ්ට තාක්ෂණය සඳහා කදිම උදාහරණයකි.

ක්ෂුද්‍ර ශිලා මෙවලම්

06.ආසියාවේ පැරණිම බ්‍රාහ්මී ලේඛන අනුරපුරයෙන්

බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය භාවිත කළ නිසා කියන බවයි පේන්නේ. (සමහරු මේ අකුරුවලට අසෝකාක්‍ෂර කියලත් කියනවා.) ඒ නිසාම මේ අකුරු අසෝක අධිරාජ්‍යයාගේ කාලයේ එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ පමණ නිර්මාණය වුනා කියලයි විශ්වාස කළේ. මේ අකුරු පද්ධතිය උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව වගේම ලංකාවෙත් භාවිත කරල තියෙනවා. උතුරු ඉන්දියාවේදි උතුරු ඉන්දිය ප්‍රාකෘත බසත්, දකුණු ඉන්දියාව් – ටැමිල්නාඩුවේ දී පැරණිම දෙමළ බස ලිවීමටත් ලංකාවේ දි සිංහල ප්‍රාකෘත බස ලිවීමටත් මේ අකුරු තමා භාවිත කරල තියෙන්නේ. මිහින්තලේ, රජගල, සිතුල්පවුව වගේ ලංකාවේ උතුරු පළාත හැර හැම පළාතකම වගේ අඩුවැඩි වශයෙන් මෙම ලිපි පැතිරිලා තියෙනවා. මෙවැනි ලිපි ලංකාවේ 3,000ක් විතර ඇති මයේ හිතේ. සෙනරත් පරණවිතාන කියන විශිෂ්ට විද්වතා විසින් සම්පාදනය කළ Inscriptions of Ceylon කියන පොතේ විතරක් මෙවැනි ලිපි 1,400ක් විතර අන්තර්ගතයි.
මේ අකුරුවලින් ලියල තියෙන ලේඛන දිහා බලල සමහර විද්වතුන් විවිධ අවස්ථාවල කරුණු ඉදිරිපත් කළා මේවායේ ආරම්භය අසෝක අධිරාජයාගේ කාලයෙන් සිවවස් දෙකතුනක්වක් ඈතට යන්න ඕන කියල. ඒ සඳහා දකුණු ඉන්දියාවේ හිටපු විවිධ විද්වතුන් විවිධ අදහස් හා සාධක ඉදිරිපත් කරල තිබුනත් ඒවා පුරාවිද්‍යාත්මකව, අක්‍ෂර විද්‍යාත්මකව හෝ කාලනීර්ණ අනුව තහවුරු කරන්න බැරිවුනා.
1980 දශකයේ අවසාන කාලයේ දී ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමාගේ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර ඇතුළු නගරයේ සිදුකළ සල්ගහවත්ත කැනීම (ASW 88), මහාපාළි දානශාලාව (AMP 88) හා අනුරාධපුර ගෙඩිගේ (AG 85) යන ස්ථනවල සිදුකළ කැනීම්වලින් පැරණිම බ්‍රාහ්මී අක්ෂර සහිත මැටිබඳුන් කොටස් කීපයක් ලැබුනා. ඒවා මේ කැනීම්වලින් ලැබුණු අනෙකුත් පුරාකෘති සමඟ කරන මාදිලි සැසදීම් හා අනෙකුත් කැනීම් පරිශ්‍රයන්ගේ පස්තට්ටු කාල නීර්ණ එක්ක සමසම්බන්ධතා ගොඩනැඟීමේ දී අසෝක අධිරාජ්‍යයාගේ කාලයට සියවස් දෙකක් විතර ඈතට ගමන් කරන බව ඉහළ සම්භාවිතාවක් සහිතව පැහැදිලි වුනා. එතැනින් නොනැවතුණු සිරාන් දැරණියගල මැතිතුමා මේවා කාබන් 14 විතරක් නෙවෙයි තාපසම්දීප්පතා කාල නීර්ණය කියන ක්‍රම දෙක අනුව කාල නීර්ණය කළහම මේ දිනවකවානු පිළිබඳ අදහස තහවුරු වුනා. ඒ විතරක් නම් මදෑ, දැන් ඔය ලුම්බිණිය එහෙම කැනීම් කරල ලෝක ප්‍රසිද්ධ වෙලා ඉන්න රොබිං කනින්හැම් කියන සුදු ජාතික විද්වතා ගෙනල්ලා එයාලට මේ කැනීම් පරිශ්‍රයේ එක ඉමක් නැවත කනින්න කියල කීවා. ප්‍රතිඵලය පෙර හා සමානයි. ඉතිං මේ කරුණු 1992 දී සිරාන් දැරණියගල මහතා ලෝකයටම කීවා.
මේ සමඟ අමුනා ඇති රූපයේ තියෙන්නේ එහෙම අනාවරණය වුණු පූර්ව බ්‍රාග්මි අක්‍ෂර සහිත මැටි බඳුන් කොටස්. මේ රූපයේ 1 සිට 5 දක්වා අංකවලින් දැක්වෙන්නේ අනුුරාධපුර ඇතුළුනගරයේ මහාපාළි දානශාලාව අසල 1988 සිදුකළ කැනීමේ සන්දර්භ අංක 75 කියන පස් තට්ටුවෙන් අනාවරණය වූ පැරණිම බ්‍රාහ්මි අක්ෂර සහිත මැටි බදුන් කොටස්. 6 හා 7 යන රූප දෙක 1988 දී ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ කළ කැනීමෙන් අනාවරණය වූ අක්ෂර සහිත මැටිබඳුන් කොටස් දෙක. මෙම මැටිබදුන් කාලනීර්ණ පිළිබඳ සරලව සාකච්ඡා කරන එක මේ වගේ තැනක සාර්ථක නැහැ. මොකද ඒ කාලනීර්ණ අතිශයින්ම තාක්‍ෂණික ස්වරූපයක් ගන්නා අතරම සියුම් ආකාරයෙන් පැහැදිලි කළ යුතු දෙයක්. හැබැයි ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන් මෙම සාධක ක්‍රිස්තු පූර්ව 500-700 අතර කාලයට අයත් කියන එකනම්.
අපේ මේ සොයාගැනීම ඉන්දියාවේ විද්වතුන්ට මදිකමක්. එයාලා ලංකාවෙන් ඉන්දියාවට වඩා පැරණි ලේඛන හම්බවෙන්න බෑ කියල දස අතේ විස්සෝප වුනා. ලංකාවේ මේ අනාවරණය ගැන ඉන්දියාවේ හිටි විශිෂ්ඨම අභිලේඛනඥයෙකු වූ ආචාර්ය ඉරවදන් මහාදේවන් මැතිතුමා (මෙතුමා 2018 දෙසැම්බර් මස මිය ගියා) ප්‍රකාශ කළේ “සිරාන් දැරණියගලගේ අදහස පිළිගන්න නම් මේ හා සමාන හෝ පූර්වකාලීන සාධක ඉන්දියාවෙන් හමුවිය යුතු බවයි”. මේ අදහස මේ විදිහට තියෙද්දි ඉන්දියාවේ ඉන්න මහාචාර්ය කේ. රාජන් මහත්මයා කැනීම් කළ සොහාන් ස්ථාන දෙකක් වන පොරුන්තාල් (Porunthal) හා කොඩුමනාල් (Kodumanal) කියන ස්ථානවලින් අසෝක අධිරාජ්‍යයාගේ කාලය ඉක්මවා යන කාලයට අයිති මැටි භාජනවල ලියු පූර්ව බ්‍රාහ්මි අභිලේඛන අනාවරණය වුනා. ඉතිං වැඩේ අහවරයි. ‍මේවාට අමතරව අදාල කාලයට ම අයත් පස් තට්ටුවලින් මෙවැනි අකුරු කරුටුගෑම සඳහා භාවිත කළා යැයි සිතන්න පුළුවන් ආකාරයේ පන්හිදවල් ද ඉන්දියාවෙන් වගේම ලංකාවෙන් ද හමු වී තිබීම විශේෂත්වයක්.
කාලනීර්ණ තත්ත්වය මෙහෙම වුනත් මේ දේවල් පිළිගන්න අපේ ලංකාවේ සමහර උගතුන් කැමති වුනේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ දෙයක් පිළිගන්න නම් සුදු හමක් තියෙන කෙනෙක් කියන්න ඕන නේ. එහෙමත් තැන්කම් අපේ අය කැමති නෑ ඉන්දියාට වඩා පරණ දේවල් අපේ රටේ තියෙනවා කියන්ට. අර කුමාරතුංග මුනිදාස පඬිතුමා වරක් කියල තියෙන්නේ “ඇයි මේ හැමදේම පිටින් අපිට ආවා කියල හිතන්නේ, ඇයි නිකමටවත් හිතන්න බැරි අපෙන් දෙයක් පිටට ගියා කියල”. සිරාන් දැරණියගල මැතිතුමාගේ අදහසට ප්‍රබලම විචාරයක් එල්ල කළා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පියතිස්ස සේනානායක මැතිතුමා. මේ ලියන මගෙත් ගුරුතුමෙක්. ඒ වගේම පේරාදෙණියේම ඉතිහාස මහාචාර්ය විමලසේන හෑලෝගම මැතිතුමා. පස්සේ කරුණු අධ්‍යයන කළ ආචාර්ය පියතිස්ස සේනානායක මැතිතුමා දැරණියගලගේ අදහස පිළිගත්තේ “නවීන කාලනීර්ණ විද්‍යාත්මක සාධක සහිතව ඉදිරිපත් කර ඇති මේ අදහස පිළිගන්නේ නැත්නම් ඔහුට පිස්සු වෙන්න ඕන කියන” ප්‍රකාශයත් සභාවක කරලයි. 2010 දි විතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පැවති විද්වත් සභාවකදී ඉතිහාසඥයින් අභිමුව මේ අකුරුවල පෞරාණිකත්වය පිළිබඳ අදහස සනාථ කිරීමට පිරිසක් සමත් වුනා. විරුද්ධ අදහස් අනාථ වුනා. මේ සභාවේ මුලසුන දැරුවේ අපවත් වූ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හාමුදුරුවන් වහන්සේ. ඊට පස්සේ 2019 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ දී ජනමාධ්‍යත් ඇතුළු සියලු පාර්ශවයන් කැදවා මහා සමුළුවක් පැවැත්වුනා. එතැන දී වාදයකින් තොරවම දැරණියගල මැතිතුමා ඉදිරිපත් කළ අදහස පිළිගන්න වුනා පක්ෂ විපක්ෂ සියලු දෙනාටම.
මම කලින් සටහනක දී කිවුවනේ ඉතිහාස කාලපරිච්ජේදය ආරම්භ වන්නේ ලිඛිත මූලාශ්‍රය හමුවන කාලයත් එක්ක කියලා. ඒ අනුව, මෑතක් වනතෙක් අපේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට ඒ කියන්නේ මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළ කාලයට සීමා වෙලා තිබුනේ. දැන් අපේ ඉතිහාසය අඩුම තව තරමින් තවත් සියවස් දෙකක් ආපස්සට ගිහිං.
මේ තියෙන්නේ අපිට ආඩම්බර වෙන්න දෙවල්. මේව තියෙද්දිනේ අපි හීන පස්සේ දුවලා අපේ විධිමත් සප්‍රමාණ පුරාවිද්‍යා දත්ත විනාශ කරල සුරංගනා ලෝක හදන්න යන්නේ

03. සත්ව අස්ථි මෙවළම්

සත්ව අස්ථි මෙවළම්

මෙන්න මෙවුවට තමා කියන්නේ ‘සත්ව අස්ථි මෙවළම්’ කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්. මේ කැනීම සඳහා මුල් වෙලා හිටියේ මහාචාර්ය ගාමිණි අදිකාරි මැතිතුමා ප්‍රමුඛ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය. මෙවා අයිති පස් තට්ටු කාබන් 14 කියන ක්‍රමය අනුව කාලනීර්ණ කරල තියෙනවා. අදින් වසර 5,000කට ටිකක් වැඩි වයසක් තියෙන්නේ මයේ හිතේ.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ මෙවළම් ගොන්නේ වැදගත් තැනක් ලැබුනා මෙවැනි සත්ව අස්ථි මෙවළම් වලට. මෙයාලා ගල් ආයුධ භාවිත කළ බව අපි දැනටමත් දන්නවානේ. ඊට අමතරව උණ පතුරු වගේ දේවලුත් පාවිච්චි කරන්න ඇති. සත්ව අස්ථි මෙවළම් සඳහා බොහෝවිට භාවිත කරල තියෙන්නේ වඳුරා, රිලවා වගේ සතුන්ගේ අත්වල තියෙන දිගු අස්ථි කොටස්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ අස්ථි වෙනත් අස්ථිවලට වඩා ශක්තිමත්. ඒ සත්තු අත්වලින්නේ ගස්වල එල්ලිල යන්නේ. කුඩා ගල් ආයුධවලින් උල් කරල නැත්නම් ගලක උරච්චි කරල මේ උල් හදාගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙකුට කැමතිනම් මස් කට්ටකින් මේ වැඩේ කරල බලන්න පුළුවන් හරියනව ද කියල.
මේ සත්ව මෙවළම් පිළිබඳ වර්ගීණයක් කරල තියෙනවා ආචාර්ය ඩබ්ලියු.එච්. විජේපාල මැතිතුමා. එතුමා මෑතක මිය ගියා. කිතුල්ගල බෙලිලෙනින් හමු වූ මෙවැනි මෙවළම් භාවිත කරල තමයි ඒ වර්ගීකරණය කරල තියෙන්නේ.මේ උල් ලි දඬුවල කෙළවර හයි කරල ඊ තල විදිහට හරි හෙල්ලක් විදිහට හරි පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් බෙල්ලන්ගේ කටු ඇතුලේ තියෙන මස් ආදිය ඇදල ගන්න නිකම්මත් භාවිත කරන්න පුළුවන්.
මේ නිර්මාණ පිළිබඳ ලංකාවේ බොහෝ ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන් කැනීම් තුළින් සාධක හමු වෙනවා. හැබැයි දැනට ලංකාවේ හොඳම සාධක ලැබිල තියෙන්නේ කිතුල්ගල බෙලිලෙන් කිවුවොත් කාටවත් ඒකට එකපාරම විරුද්ධ වෙන්න බෑ.
ඉතිං මේ තියෙන්නේ අවුරුදු 2,500කට වඩා ඈත කාලයේ අපේ කතාව කියන සාධක. මෙවා පාවිච්චි කරල ලබාගත්ත පාඩම්වලින් තමා ඉතිහාස යුගය ආරම්භ වන කාලයේ ඒ කියන්නේ අදින් වසර 3,000-2,500 විතර වෙද්දි විශිෂ්ට යකඩ නිර්මාණ කරන්න පටන් ගත්ත මිනිසුන් බිහිවුනේ.

07. ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව

මේ කෙටි ලිපියෙන් කියන්න යන්නේ ලංකාවේ යාපනය පැත්තෙන් අනාවරණය වූ වැදගත් ලේඛනයක් සහිත පුරාකෘතියක් පිළිබඳව. පැරණි ලේඛන ගැන උනන්දු අය අතර “ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව” (Annaicoddai seal) යනුවෙන් ප්‍රසිද්ධ මේ පුරාකෘතියයි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය පොන්නම්බලම් රඝුපති, මහාචාර්ය කාර්තියේගේසු ඉන්ද්‍රපාල හා ආචාර්ය එස්.කේ. සිත්‍රම්පලම් යන විද්වතුන් ගේ මූලිකත්වයෙන් 1980 දී ආනෛයිකොඩ්ඩායි යනුවෙන් දැන් හඳුන්වන ස්ථානයේ මහාශිලා සම්ප්‍රදායට අයත් සුසානයක සිදුකරන ලද කැනීමකින්. මේ සමඟ තිබුණු මිනිස් සැකිල්ල සමඟ හමු වූ මේ ලෝහ මුද්‍රාව බොහොම කුඩා එකක්. සෙන්ටිමීටර් 1.7ක් හා සෙන්ටිමීටර් 1.5ක් පමණ තමා දිග හා පළල. මුද්දකට සම්බන්ද කරල තිබුණා කියලත් කියනවා. මේ මුද්‍රාවේ සංකේත 6/7ක් දැකගන්න පුළුවන්. ඉහළ පේළියේ සංකේත 3/4ක් හා පහළ පේළියේ පරණම බ්‍රාහ්මි අකුරු 3/4ක් වශයෙන්. මුලින්ම මේ පිළිබඳ කියැවීමක් කළේ පොන්නම්බලම් රඝුපති මැතිතුමා හා කාර්තියේගේසු ඉන්ද්‍රාපාල මැතිතුමා. රඝුපති මැතිතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධය අනුසාරයෙන් සකසා පළකර ඇති Early settlements in Jaffna : an archaeological survey කියන පොතේ තමා මේ ගැන මුළින්ම සඳහන් වෙලා තියෙන්නේ. පස්සේ කාලෙක ඉන්ද්‍රපාලන් මැතිතුමාගේ The Evolution of an Ethnic Identity: The Tamils of Sri Lanka C. 300 BCE to C. 1200 CE කියන පොතෙත් මේ ගැන විස්තර ලියල තියෙනවා.
මේ සම්බන්ධව හොයාබලපු හැම කෙනෙක්ම පොදුවේ පිළිගන්නවා මෙහි පැරණිම බ්‍රාහ්මි අකුරු කියවිය යුත්තේ අපි සාමාන්‍යයෙන් කරන ආකාරයට වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට කියලා.
මහාචාර්ය ඉන්ද්‍රපාල මැතිතුමා මෙයින් යට තියෙන පැරණිම බ්‍රාහ්මි අකුරු “කොවෙන්ත” නැත්නම් “කොවෙතං” කියලයි කියවන්නේ. ද්‍රාවිඩ පවුලේ භාෂා අනුව මෙයින් අදහස් වෙන්නේ “රජුන්ගේත් රජු” නැත්නම් “රජු යන්න දෙවරක් යෙදී ඇති බවයි” ඔවුන්ගේ පැහැදිලි කිරීම. ඒ වගේම ඉහළ පේළියේ තියෙන ත්‍රිශූල වගේ සංකේතයෙන් රජු යන්නත් එය දෙ වරක් යෙදීම මගින් රජුන්ගේ රජු යන්න එයින් ද ගම්‍ය වන බවත් කියල තියෙනවා. මේ විද්වතුන් මේ මුද්‍රාව සඳහා ලබාදුන් අර්ථකථනය ඔස්සේ යාපනය ප්‍රදේශයේ පාරම්පරික දෙමළ නිජභූමියක් පැවති බවට සාධකයක් විදිහටත් යොදා ගත්තා. මේ එල්ටිටිඊ ත්‍රස්තවාදයත් යහමින් පැවති කාලයක්.
මේ ගැන බොහෝ අය නිශ්ශබ්ධව සිටියත් කොළඹ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා විසින් කැලණිය විශ්වවිද්‍යාලය මඟින් 1998 දී ප්‍රකාශයට පත් කළ ‘සරසවි’ කියන ලිපි එකතුව සඳහා සපයන ලද ‘ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව : ස්වරාජ්‍යවාදි ප්‍රවේෂයෙන් ඔබ්බට’ කියල ලිපියෙන් නිභයව, වඩාත් හොඳ පැහැදිලි කිරීමක් කරල තියෙනවා මේ ගැන. මේ සම්බන්ධයෙන් ශාස්ත්‍රකාමි හැම කෙනෙක්ගෙම ගෞරවය එතුමාට හිමි වෙන්න ඕන. ඒ වගේම මේ කරුණු අපි කවුරු කවුරුත් දැනගන්නත් ඕන. එතුමා මේ ලිපියේ තියෙන දෙමළ නිජබිම්වාදි ඉතිහාස පක්ෂපාතිබව පිළිබඳ සාකච්ඡා කර ඉන් අනතුරුව මෙම ලේඛනය පැවති සන්දර්භය පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම මුද්‍රාවේ පහළ පේළියේ ඇති අකුරු මගින් “කෙවෙත” යන්න සටහන් කර ඇති බව පෙන්වා දුන්නා. සිංහල ප්‍රාකෘතයෙන් සටහන් කර ඇති මේ කෙවෙත යන්නෙන් කෙවුල්, කෙවට්ට යන අදහස ජනනනය වන බව එතුමා පැහැදිලි කරයි. ධීවර කර්මාන්තය හා සම්බන්ධ මුදුහුබඩ ස්ථානයකින් මේ සොහොන හමු වීම නිසා යම් ධීවර ජනකායකගේ ප්‍රධානියෙක් සම්බන්ධ සොහොන් ගර්භයක් බව ද පෙන්වා දී ඇත.
ඉතිං මේ, අපි නොදන්නවා වුනාට ලංකාවේ බෙහෙවින් විවාදයට හේතු වූ හා ඉදිරියේදීත් හේතුසාධක විය හැති පුරාකෘතියක්. මේ නිර්මාණය දැන් කොහෙද තියෙන්නේ කියල මේ ලියුම්කරු මීට පෙර සොයා ඇතත් ඒ ගැන හරිහමන් විස්තරයක් නම් දැනගන්න ලැබිල නැහැ. ලැබුණු සැකකටයුතු තොරතුරු අනුව නම්, පොන්නම්බලම් රඝුපති මැතිතුමාගේ සිරිමතිය සමඟ මෙය ඇති බව අහන්න ලැබුනා. හැබැයි ඒ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ.
මේ ගැන වැඩිදුර හොයාබලන්න කැමැත්තක් ඇති කෙනෙකුට මේ ලිපිය තුළ දක්වා ඇති ලිපි හා පොත් හෝයාගෙන කියවන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය Sumedha Weerawardhana මැතිතුමා බොහොම මහන්සි වෙලා විස්තර හොයාගෙන මේ පිළිබඳ www.archaeology.lk/sinhala වෙබ් අඩවියට මේ ගැන ලිපියක් සපයලා තියෙනවා. ඒ ලිපියත් කියෙව්වොත් හොඳ දැනුමක් ගන්න පුළුවන්. (මේ ලිපිය එක්ක අමුණා ඇති ඡායාරූප 4 ගත්තෙත් සුමේධ වීරවර්ධන මහතාගෙන්මයි. වම් පැත්තේ තියෙන්නේ මුද්‍රාවේ සඳහන් අක්ෂර හා සංකේත. දකුණු පැත්තේ ඉහළ තියෙන්නේ මුද්‍රාව හා දකුණු පැත්තේ පහළ තියෙන්නේ මුද්‍රාව හමු වූ මානව සැකිල්ල.)

08. පී.ඊ.පී. දැරණියගල

ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වගේ ම අපේ උරුමය පාදා මතුකිරීමට මහත් මෙහයක් කළ අයට අපහාස උපහාස කරන්නන් බහුල කාලයක් මේක. වැඩක් කරනවට වඩා ඒක ලෙසි හින්ද වෙන්න ඇති නේද? හැබැයි තමන්ගේ අතීතයට ගරහන ජාතියකට භෞතිකව හෝ මානසිකව වර්ධනයක් අත්කරගන්න නම් අමාරුයි කියන එක තමයි මගේ අදහස. මම දේ දේවල් කිවුවේ මේ ලිපියට පිවිසුමකුත් ගන්නයි.
මේ කතාකරන්න යන්නේ ශ්‍රෙෂ්ඨ ලංකා ප්‍රත්‍රයෙක් ගැන. ඒ පී.ඊ.පී. දැරණියගල නැත්නම් පෝල් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මැතිතුමා ගැන. එතුමා ගැන ලියන් කියන්න හිතද්දිත් ඒක කරන්නේ කොහොමද කියල හිතාගන්නත් බෑ. හේතුව මෙතුමා සත්ව විද්‍යාඥයෙක්, මානව විද්‍යාඥයෙක්, පුරාවිද්‍යාඥයෙක්, ගවේෂකයෙක් චිත්‍ර ශිල්පියෙක්, කැටයම් ශිල්පියෙක්, කලාකරුවෙක්, කලා ඉතිහාසඥයෙක්, ඉහළම මට්ටමේ බොක්සින් හා ජූඩෝ ක්‍රීඩකයෙක්, ඒ වගේම දේශප්‍රෙුමියෙක්. සම කාලීන මුළුමහත් බ්‍රිතාන්‍ය කිරීටයේම සිටි දක්ෂම බොක්සින් ක්‍රීඩකයෙක්. සීගිරියේ ගියපු අය දැකල ඇති නේද ‘දැරණියගල ගුහාව’. ඒ පැරණි සිතුවම් සහිත ගුහාව ගැන ලියල තියෙන්නෙ මෙතුමා. ඒ නිසයි ඒ ලෙන ඒ නමින් හඳුන්වන්නේ.
1900 වසරේ උපත ලබා 1976 වසරේ දී අභාවප්‍රාප්ත වූ මෙතුමා කීර්තිමත් ශ්‍රී ලාංකේය පුතනුවෙකු වූ පෝල් ඊ. පීරිස් ගේ පුත්‍රයෙක්. මව හිල්ඩා ඔබේසේකර මැතිණිය. අර සුප්‍රසිද්ධ 43 කණ්ඩායමේ පුරෝගාමී සිතුවම් ශිල්පියෙකු වූ ‘ජස්ටින් පීරිස් දැරණියගල’ කියන්නේ
බාල සහෝදරයෙක්. මෙතුමා විවාහ වුනේ ප්‍රීනි මොළමුරේ මැතිණිය එක්ක. මේ දැරණියගල මැතිතුමාගේ එක දරුවෙක් තමයි පස්සේ ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වුණු ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මැතිතුමා. තවත් පුතෙක් තමයි චිත්‍ර ශිල්පියෙකු වුණු රනිල් දැරණියගල. මේ පවුලේ බොහෝ දෙනෙක් කීර්තිමත් ශ්‍රී ලාංකේය මාතාවගේ දරුවන්. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලත් මෙතුමා ශාස්ත්‍රවේදි හා ශාස්ත්‍රපති උපාධි කේමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ටිනිටි විද්‍යාලයෙනුත් අවසානයේ එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලබල තියෙනවා.
මෙතුමා මූලික වශයෙන් සත්ව විද්‍යාඥයෙක්. එතැනින් මානව විද්‍යාවටත්, මානව විද්‍යාව ඔස්සේ පුරාවිද්‍යාවටත් පැමිණිය කෙනෙක්. මානවශාස්ත්‍ර විෂ්‍යානුබද්ධව ලියා ඇති ලිපිත් පුදුම වටිනාකමක් තියෙන්නේ. ආචාර්ය උපාධිය විදිහට අවධානය යොමුකරල තියෙන්නේ ලංකාවේ හිම යුගය ගැන. කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් 1958 දී ’‘The Pleistocene of Ceylon’ නමින් පළ කරල තියෙන්නේ ඒ පොත. මහා හිම යුගයේ දී ලංකාවේ පරිසර තත්ත්වයත් ඒ කාලයේ ලංකාවේ ජීවත් වුණු සත්තුත් ගැන මේ පොතේ විස්තර තියෙනවා. මේ සත්තු ගැන පොසිල අනාවරණය වන්නේ රත්නපුර පැත්තේ තියෙන මැණික් පතල් තුළින්. සිංහයා, අලි වර්ග කීපයක්, හිපපොටේමස්, රයිනොසිරස් වැනි සතුන් ලංකාවේ ජීවත් වුනා කියල සාධක සහිතව පෙන්නලා දුන්නේ මෙතුමා. ඒවා ඉන්දියාවේ නර්මදා ගංගාවේ තැම්පතුවලින් හමුවන සාධක සමඟ සංසන්දනය කරල විස්තර කරල තියෙනවා.
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පළමු ස්වදේශීය අධ්‍යක්‍ෂ වශයෙන් 1939 දී ස්ථිරව පත් වූ මෙතුමා එහි 1963 දක්වා එම තනතුරේ සේවෙය කළා. 1961 සිට 1964 දක්වා කාලයේ විදේ්‍යා්දය සරසවියේ පීඨාධිපති වශයෙන් ද සේවය කරල තියෙනවා.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට දක්වා ඇති දායකත්වයත් මෙතෙකැයි කියල කියන්න අමාරුයි. දකුණු පළාතේ තියෙන බන්ඩත්තර කියන තැන තිබුණු මැටිඔරු සුසානයක් ඉස්ඉස්සෙල්ම කැනීම් කළේ මෙතුමා. රාවණා ඇල්ල, අළු ගල්ගේ, මානෙල ගල්ගෙ වැනි ලංකාව පුරාම පාහේ ගල්ලෙන් විශාල ප්‍රමාණයක් මහත් උනන්දුවෙන් කැනීම් කරල තියෙනවා, ලංකාවේ ආදි ම මානවයා හා ඔවුන්ගේ චර්යාව ගැන හොයල බලන්න. 1956-61 කාලයේ තමා උඩවලවේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස කියන ලංකාවේ මධ්‍යශිලා යුයට අයත් ස්ථානය කැනීම් කළේ. මේ කැනීම ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනවල දී බෙහෙවින්ම වැදගත්. ලංකාවේ සම්පූර්ණ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ඇටසැකිලි හමු වුනේ මෙතැන දී. සම්පූර්ණ සැකිලි 20කට වැඩි ප්‍රමාණයක් හමු වෙලා තියෙනවා. මේ ඇටකටු අනුව තමා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා මානවයා “බලංගොඩ මානවයා” (Balangoda Man) කියල නම් කළේ. දැරණියගල මැතිතුමා මුලින් මෙයාට දුන්නු නම තමයි Homo sapians Balangodensis Deraniyagala කියන නම. මේ නූතන මානවයාම තමයි. දැන්නම් ඝණ නාමයයි විශේෂයේ නමයි විතරයිනේ ගන්නේ. මධ්‍යශිලා යුගයට අයත් මේ මානවයින් ලංකාවේ කොතනින් හමු වුනත් කියන්නේ ඒ නමමයි. මොකද පුරාවිද්‍යාවේ සම්ප්‍රදායක් තියෙනවා යම් තාක්‍ෂණයක් හෝ විශේෂ දෙයක් මුළින්ම හමු වූ ස්ථානය අනුව තමයි නම යොදන්නේ.
සත්ව විද්‍යාඥයෙක් වශයෙන් මෙතුමා ලියල තියෙන පොත් අදටත් ඒ විෂය සම්බන්ධ උනන්දු අය කියවනවා, බලනවා. මෙතුමා මං හිතන්නේ සත්ව විද්‍යාව පිළිබඳ උනන්දු අය අතර වඩාත් ජනප්‍රියයි. එතුමා ලියල තියෙන ලංකාවේ කොදුඇට පෙළ සහිත සතුන් පිළිබඳ වර්ණ රූප අන්තර්ගත පොත් පෙළ (Some vertebrate animals of Ceylon) බෙහෙවින් ඇඟයීමට ලක්වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ දැන් ඉන්න හා පෙර සිට වඳ වී ගිය හස්ථින් පිළිබඳවත් (Some Extinct Elephants, Their Relatives and the Two Living Species) ලියලා තියෙනවා. අපේ රටේ දැන් ඉන්න දස හිස් පස්සේ යන අය දන්නවද දන් නෑ ලංකාවේ අලි වෙදකම මෙන්ම ලංකාවේ පැරණි ත්‍රාසජනක ක්‍රීඩා (Some Sinhala combative, field and aquatic sports and games) පිළිබඳ රට පුරාම ගිහිං පීරල බලල ලියල තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රාථමික ශෛලියේ චිත්‍ර ගැනත් හොයල බලල තියෙනවා. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය විෂය පරාසය තුළ ඉහළ මට්ටමක තියෙන පුරා සත්ව විද්‍යාව කියන විෂයේ ප්‍රාරම්භකයා මෙතුමා. මේ විෂයේ දි කරන්නේ කැනීම් වලින් අනාවරණය වන සතුන්ගේ ඇටකටු පිළිබඳ විපරම් කරල ඒ සතුන්, ස්ත්‍රි පුරුන බව වගේ දේවල් හඳුනා ගන්න එක. මේ විෂය මෙතුමා හරහා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටි කීට විද්‍යාඥ පී.බී. කරුණාරත්න මහතා ඉගෙන ගෙන තියෙනවා. එතුමා ගේ සෙවණේ මේ දැනුම ගත්ත දෙන්නෙක් තමයි ප්‍රමුඛ සත්ව විද්‍යාඥ කැළුන් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මැතිතුමා හා ජූඩ් පෙරේරා මැතිතුමා.
මේ එතුමා කර ඇති වැඩවලින් බොහොම ටිකක් විතරයි මේ. මේ වගේ අද අපිට හිතන්නවත් අමාරු වැඩ කන්දරාවක් කළ නිසා තමයි කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මැතිතුමා, මෙතුමො 20 වැනි සියවසේ ලංකාවේ පහළ වූ මහා විද්වතෙක් විදිහට හඳුන්වලා තියෙන්නේ. දැරණියගල මැතිතුමා ගැන ඔහු ලියපු ලිපියක් වෙබ් එකේ ඇති. හොයාගෙන කියෙවුවොත් දැනුම තවත් වර්ධනය කරගන්න පුළුවන්.
මෙතුමා ගැන තවත් ලිපි හා පොත්පත් ලියැවිලා තියෙනවා. වාසනාවට හෝ අවාසනාවට ඒවා ලියැවිලා තියෙන්නේ ඉංග්‍රීසි බසින්. ඒ හේතුව නිසා මේ විශිෂ්ඨ විද්වතා ගැන අපේ සිංහල පාඨක සමාජයට දැනගන්න ලැබිල තියෙන අවස්ථාව සීමා වෙලා. මෙතුමා ගැන දැනගන්න උනන්දු අයට පුළුවන් ලේක්හවුස් ආයතනයෙන් 1980 දි පළ කළ ආචාර්ය තෙල්මා ටී.පී. ගුණවර්ධන මැතිණිය, මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මැතිතුමා හා ආචාර්ය රෝලන්ඩ් සිල්වා මැතිතුමා විසින් සංස්කරණය කළ P.E.P Deraniyagala commemoration volume නම් කෘතිය හොයාගෙන කියවන්න. ලොකු විස්තරයක් ඒ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පොත විවිධ විද්වතුන් විවිධ මාන වලින් එතුමාගේ සේවය තක්සේරු කරල ලියල තියෙන ලිපි එකතුවක්.
මෙතුමා ගැන මෙවැනි කෙටි ලිපියකින් ලියන්න අමාරුයි නෙවෙයි බැහැ කියන එක මේ ටික කියවපු කෙනෙකුට වුනත් දැනෙන්න ඕන. ඉතිං මේ කෙටි ලිපිය අවසානයේ මට කියන්න තියෙන්නේ කරුණාකර විද්වතුන්ට, කරන්නන් වාලේ අපහාස උපහාස කරන්න පෙර අඩුම ගානේ එයාලා කරල තියෙන දේවල්, ඒ සඳහා ඔවුන් කළ කැපවීම් ආදිය ටිකක් හොයල බලන්න. එහෙම නැතිව තමන්ම වැහැප් ගති පෙන්නවන්න හොඳ නැහැ.
මේ සමඟ දක්වා ඇති ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මැතිතුමාගේ ඡායාරූපය 1959 දී පමණ ගත්ත එකක්. ඉන්ටර්නෙට් එකෙන් තමා ගත්තේ.

අවුරුදු 2,500යේ හිරවෙලා ඉදීම

මේ සමූහයේ ඉන්න සමහර සාමාජිකයින් අහනවා අවුරුදු 2,500යේ හිරවෙලා ඉන්නේ ඇයි කියලා. අපි ඊට වඩා ඈත ඉතිහාසය හොයා ගන්න ඕනලු. අදහස හොඳයි. නමුත් මෙවැනි ප්‍රකාශ කරන අය දන්නේ නැහැ “ඉතිහාසය” කියන වචනයේ අර්ථයවත්. එයට ඇති පාරිභාෂික අර්ථය. ඉතිං ප්‍රාග් ඉතිහාසය ගැන කවර කතා ද?

ශ්‍රී ලංකාව කියල අද අපි හඳුනා ගන්නා භූමියේ මීට අවුරුදු 3,000කට 7,000කට 15,000කට එහෙම නැත්නම් 32,000කට එහා කාලයේ තිබුනේ මොනවාද? පැවතියේ කුමන තත්ත්වයක් ද? ඒ කාලයේ හිටපු අය දඬුමොණරයක් හෝ එවැනි වෙනත් උපකරණයකින් අහසේ යන්න පුළුවන් අය ද? මේ ගැන අපි ටිකක් බලමු. පසුගිය අවුරුදු 150ක විතර කාලයේ දී ලංකාවේ විවිධ අය කළ සොයාබැලීම්වලින් මේ පිළිබඳ ප්‍රමාණවත් අදහසක් අපිට ඇතිකර ගැනීමට හැකිවෙලා තියෙනවා. අදින් අවුරුදු 3,000න් එහා කාලයේ ඉදල තියෙන්නේ අපි වගේම මිනිස්සු. හැබැයි එයාලා බටු මියෝ, හිකනල්ලු, ගැරඩියෝ, ගොළුබෙල්ලෝ, වල් ඌරෝ අල්ලගෙන කාපු, වැල් අල හාරල කාපු සරළ ‘දඩයක්කාර රැස්කරන්නෝ’ මිසක් ඔය කියන හිස් දහයක් තිබුණු, රාජධානි හදාගෙන හිටි, පොළොවේ බෙන හාරගෙන හිටපු පිරිසක් නෙවෙයි. මේවා හොයාබලපු පෝල් ඊ. පිරිස්, පි.ඊ.පි. දැරණියගල, සෙනරත් පරණවිතාන, සිරාන් දැරණියගල, කෙනෙත් කෙනෙඩි වගේ අය අද රාවණා හොයාගෙන යන කිසිම අයෙකුටත් වඩා ජාතිකවාදින් බව නම් මට ඉතාම පැහැදිලියි. ඔවුන්, ලෝක මානවයාගේ අතීතය තුළ අපේ සළකුණ සටහන් කළා. අද ඉන්න කටින් බතල හිටවන අය කරන්නේ දැන හෝ නොදැන මේ පදනම විනාශ කරන්න අවශ්‍ය දෙයයි. ඔවුනට අනුකම්පා කිරීම හැර වෙනත් කළ හැකි දෙයක් නැහැ. හැබැයි මේ ගැන දැනගන්න කැමැත්තක් ඇති අයට ඒ සඳහා අවස්ථාවක් උදා වෙන්නත් ඕන.

අද හවස ඉදල රටටම ඇඳිරි නීතිය. ඉතිං මම හිතුවා මේ නිරෝධන සමයේ ලංකාවේ ඉතිහාසය ගැන, අතීතය ගැන ඉඩ ලැබෙන විදිහට සාකච්ඡාවක් අරඹන්න. මේ සමූහේය ඉන්න “රාවණා පකීර්ලා” තරම් සමතෙකු නොවන බව දනිමි. ඒත් ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත විෂයන් පිළිබඳ වසර දශක දෙකක් පමණ නියැලීමෙන් ලද පොඩි අද්දැකීම් ටිකක් තියෙනවා. ඒ නිසා මම දන්න, හොයා කියා අසා දැනගත් දේවල් ටිකක් මේ සමූහයට ඉදිරිපත් කරන්නයි මේ සූදානම. මේ සඳහා මේ සමූහයේ ඉන්න පුරාවිද්‍යාව, ඉතිහාසය හා මානවවිද්‍යාව පිළිබඳ විධිමත් හැදෑරීමක් ඇති අයට අරාධනා කරනවා එක් වෙන්න කියලා. විධිමත් හැදෑරීම කියල කියන්නේ ‘විශ්වවිද්‍යාල උපාධි තියෙන අය’ විතරක් කියන එක නෙවෙයි ආයිබෝං. මෙවැනි විධිමත් දැනුමක් ඇති අද්දැකීම් ඇති පිරිසක් මේ සමූහයේ හඬ නිභයම අවදි කරන බවත් පේන්න තියෙනවා. ඒත් තවත් පිරිසක් නිහඬව ඉන්න බවත් මම දන්නවා. අනේ කරුණාකර නිහඬ බව දුර ලා ඉදිරි පෙළට එන්න.

සහවීර්යයන් කරවාවහෛ

ජය වේවා…