ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 1 : දිගු ගමනක ආරම්භය

චන්දිම බණ්ඩාර අඹන්වල

කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්ත ෙල්.

chandimaambanwala@yahoo.com

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

පිවිසුම 

අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සහිත ලෝකයේ රටවල් කිහිපය අතුරින් ඉදිරියෙන් ම පවතින රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව සැලැකේ. ජම්බුදීපයේ සිට බුදුදහම සම්ප‍්‍රාප්ත වූ කාලයේ සිට ම ලංකාවේ ශාසන ඉතිහාසය ලියාතැබීමේ අරමුණින් බෞද්ධ යතිවරයාණන් වහන්සේලා විසින් රචනා කරන ලද දීපවංශය, මහාවංශය ආදි වංශකතා හා තවත් විවිධ බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍ර මගින් ක‍්‍රිස්තු උප්පත්තියට සියවස් 3කට පමණ ඈත කාලයක සිට දිවයිනේ ඉතිහාසය අඛණ්ඩ අන්දමින් මේ දක්වා වාර්තාකර ඇත. එම මුලාශ‍්‍ර වල මුඛ්‍ය අරමුණ දිවයිනේ බෞද්ධ ශාසන ඉතිහාසය ලියා තැබීම බැවින් ඊට පූර්ව මානව ජනාවාසකරණය අරඹයා තදබල අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවක් ඒ රචනාවන්ගේ කතුවරුනට පැවැති බවක් පෙනී යන්නේ නැත. ලංකාව නම් දූපත මනුෂ්‍ය වාසයක් බවට පත්වීම විජයාගමනය ඔස්සේ සිදු වූ බව ලක්දිව ප‍්‍රධාන ඉතිහාස මූලාශ‍්‍රයක් වන මහාවංශයේ දැක්වෙයි. එබැවින් ලංකාවේ අතිතය අධ්‍යයනය කළ බොහෝ විද්වතුන් ලංකාව මානවයින්ගේ වාසස්ථානයක් බවට පත් වීම ක‍්‍රිස්තු වර්ෂ ආරම්භයට සියවස් 5ක් පමණ පෙර උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්ය භාෂාවක් කතාකළ ජන පිරිසකගෙන් සිදු වූ බව විශ්වාස කරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ විශ්වාසය අනුව ඉන්දු ආර්ය වගාව ලංකාවේ පිහිටුවීමට පුරෝගාමී වුවෝ වෙළෙන්දෝ ය. තවත් විද්වතුන් පිරිසක් ඉදිරිපත් කරන අදහසකින් කියැවෙන්නේ ලංකාවේ ජනාවාසකරණය දකුණු ඉන්දියානු නිජභූමිය කරගත් දෙමළ ජනයා ගේ ලංකාගමනය ඔස්සේ සිදු වූ බවයි.

මහාවංශය
මහාවංශය

එහෙත් දෙ වනු ව කී මෙම මතය සාධනය කිරීම සඳහා ඇත්තේ අවම සාධක ප‍්‍රමාණයක් බව ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන ඔස්සේ තහවුරු වී ඇත. මීට අමතර ව ලංකාව ජනාවාස වීම සම්බන්ධයෙන් අදහස් කීපයක් පැවැතියක් ඒවා එතරම් සැලැකිල්ලට ලක්කිරීමට තරම් ප‍්‍රබල පදනමක් මත ඉදිරිපත් වී ඇති බවක් පෙනී යන්නේ නැත. දඹදිව අශෝක රජුගේ කාලය වන විට උතුරු භාරතයෙන් පැමිණි ආර්ය බසක් කතාකළ සිංහල ජනයා මේ දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල ජනාවාස පිහිටුවාගෙන තමන්ගේ ජීවිතය ගතකිරීමට අවශ්‍ය ගොවිතැන, පශුපාලනය හා කර්මාන්ත ආදිය මෙන් ම වෙළෙඳාම වර්ධනය කරගෙන ජීවන රටාව පරිපූර්ණ මට්ටමකට පත්කර ගැනීමට සමත් විය. මෙම පසුබිමේ සිට ලංකාවේ ඉතිහාසය දේශිය හා විදේශීය විවිධ මූලාශ‍්‍ර මගින් අනාවරණය කරගත හැකි වේ. සරළාකාරයෙන් ගෙන උතුරු ඉන්දියාවේ ජනයා මඟින් ලංකාව ජනාවාස වනතෙක් ලංකව මිනිස් වාසයකින් තොර වූයේ ද? නැතිනම් මහාවංශය, උතුරු ඉන්දීය මූලාශ‍්‍ර වන දිව්‍යාවදාන, සිංහලාවදාන ආදී සාහිත්‍ය මූලාශ‍්‍ර මගින් පෙන්වා දෙන ආකාරයට ලංකාවේ වාසය කළවුන් අවැසි විටෙක පෙනී සිටිය හැකි අදෘශ්‍යමාන අමනුෂ්‍ය විශේෂයක් ද? පසුගිය වසර 125ක පමණ කාලයක් තිස්සේ දේශීය මෙන් ම විදේශීය විද්වතුන් රැසකගේ අසීමිත උත්සාහයේ ප‍්‍රතිඵල වශයෙන් මෙම ගැටළු සඳහා ප‍්‍රමාණවත් පිළිතුරක් සැපයීමට පුරාවිද්‍යාඥයින් ප‍්‍රමුඛ විද්වතුන් දැන් සමත් ව ඇත. එහෙත් ඒ ඔස්සේ නිර්මාණය කරන ලද නව දැනුම බොහෝ විට ඉංග‍්‍රිසි බසට හෝ ඒ පිළිබඳ අධ්‍යාපනය ලංකාවේ විශ්වවිද්‍යාල කීපයක පුරාවිද්‍යා (විශේෂ) සිසුනට සීමා වී ඇත. මහජන මුදල් වැයකරමින් පොදුජනයාගේ ම අතීතය පිළිබඳ ව නිර්මාණය කරන එම දැනුම සමාජගත නොවීම සැලැකිය යුතු මට්ටමේ ගැටළුවකි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මිනිසා යනු අද ලංකාවාසී ජනයාගේ මුතුන්මිත්තන් වීම පමණක් නොව අප විසින් වර්ණනා කරන විභූතිමක් අතීතයේ නිර්මාණයේ පදනම සපයන බැවින් ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ දැනුම සමාජගත කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතු වී පවතී. අදින් වසර 2,500කට පුර්ව කාලයේ ලංකාව වාසභූමි කොටගෙන ජීවත් වූ මානවයා පිළිබඳ කතාව පිළිබඳ දැනුවත් වීම උදෙසා පාසල් මට්ටමේ සිසුනට හෝ ඇත්තේ අවම අවස්ථාවකි. ඒ උදෙසා පොදු මහජනයාට ඇති අවස්ථාව ඊටත් වඩා පහළ මට්ටමක පවතී. මෙම ලිපිපෙළ මගින් ලංකාවේ අදින් වසර දසදහස් ගණනකට පූර්වයෙන් ජීවත් වූ ඒ මානවයා පිළිබඳව මෙන් ම අපගේ මුතුන්මිත්තන් පරිසරය සමඟ සහයෝගිතාත්මක ව මෙන්ම ගැටෙමින් පැවැත්ම උදෙසා සිදුකළ ඒ අරගලය පිළිබඳ අසිරිමත් කතාව සරළ අන්දමින් ගෙන ඒමට උත්සාහ දරනු ඇත. අන්තර්ජාලයේ සිදුකරන ශාස්ත‍්‍රීය ව්‍යාපාරයක් අඛන්ඩ ව පවත්වා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ලැබෙන ප‍්‍රතිචාර ජීවයක් සපයයි. එ බැවින් මෙම ලිපිපෙළ අවසානයක් දක්වා දිගට ම පවත්වාගෙන යාම ඔබ විසින් ලබාදෙනු ලබන ධනාත්මක හෝ ඍණාත්මක ප‍්‍රතිචාර මත සිදුවන බව කරුණාවෙන් සලකන්න.

ඉතිහාසය හා ප‍්‍රාග් ඉතිහාසය 

මානව අතීතයේ යම් කාලවකවානුවක් අකුරුවලින් ලියන ලද, නැතහොත් ලිඛිත මූලාශ‍්‍ර උපකාරයෙන් අධ්‍යයනය කළ හැකි නම් එය ඉතිහාසය යනුවෙන් හැදින් වේ. උගතුන් දැනට පොදුවේ ඇති ආකාරයට ලංකාවේ ලේඛනගත මූලාශ‍්‍රයන්ගේ ආරම්භය ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී සනිටුහන් කරයි. දඹදිව මෞර්ය අශෝක අධිරාජ්‍යයාගේ ධර්මලිපි ලිවීම සඳහා භාවිත කළ ආදී බ‍්‍රාහ්මී අක්‍ෂර මහින්දාගමනය ඔස්සේ ලංකාවට ලැබුණු බවත් ඒ මඟින් ලාංකේය ජනයා ලේඛනය පිළිබද දැනුවත් වූ බවත් විශ්වාස කරයි. මේ සිදුවීම් ජාලය ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී සිදු වූ බව විශ්වාස කරන බැවින් ලංකාවේ ලේඛනය පිළිබඳ ආරම්භය ද ඒ හා සමගාමි බව පිළිගැනේ. (එහෙත් ලංකාවේ අක්‍ෂර භාවිතය පිළිබඳ සාධක මෙයින් තවත් වසර සියවස් 2-3ක් ඈතට ගමන් ගන්නා බව සහේතුක ව තහවුරු කිරීමට ආචාර්ය සිරාන් දැරණියගල සමත් ව ඇත.) මෙවැනි අක්‍ෂරයෙන් ලියන ලද ලිපි දහස් ගණනක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සඳහා පූජා කරන ලද, ලක්දිව පුරා විසිරී ඇති ගල්ලෙන්හි දැකගත හැකි වෙයි. මේ පිළිබඳ ප‍්‍රකට නිදසුන් අතර අනුරාධපුරයේ මිහින්තලය, වෙස්සගිරිය, සිතුල්පවුව ආදි ස්ථානයන් පවතී. පෙර කී පරිදි මෙම ලිපි ක‍්‍රිස්තු පූර්ව 3 සියවස හෝ ඊට පසු යුගයට අයත් බව පිළිගන්නා අතර එම ලිපි ඇසුරින් අපගේ අතීතය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වෙයි. එබැවින් මෙවැනි ලේඛනගත මූලාශ‍්‍ර ඇරැඹුණු කාලයේ සිට මේ මොහොත දක්වා කාලපරාසය ඉතිහාසය යනුවෙන් සැලැකිය හැකි වේ.

Bellanbendipelessa-Balangoda Man-P.E.P. Deraniyagala-Sri Lanka-Prehistory
1950 දශකයේ දී ඇඹිලිපිටිය ආසන්නයේ බෙල්ලන්බැඳිපැලැස්සෙන් අනාවරණය වූ බලංගොඩ මානව සැකිල්ලක් (ආචාර්ය පී.ඊ.පී. දැරණියගලගේ The Pleistocene of Ceylon ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.)

මේ අයුරින් අක්‍ෂර ආරම්භවීමට පෙර යුගය ‘ඓතිහාසික යුගයට පෙර යුගය’ යන අරුතින් ප‍්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් හඳුන්වයි. ලංකාවේ දීපවංශය, මහාවංශය ආදී වංශකතාවන්හි මෙන් ම වෙනත් බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍රයන්හි මෙම යුගය පිළිබඳ සංක්‍ෂිප්ත සටහන් ඇතුළු වී පැවැතියත් ඒවා ඇදහිය නොහැකි හෝ අපහසු තොරතුරු වේ. මෙම අවධියේ දී ලක්දිව යක්‍ෂ, නාග ආදි අමනුෂ්‍යයින් ජීවත් වූ බව එම සමහර මුලාශ‍්‍ර මඟින් නිරූපණය කරයි. ඓතිහාසික හා ප‍්‍රාග් ඓතිහාසික යුගය යන යුග දෙක අතර තවත් යුගයක් වශයෙන් ප්‍රොටෝ ඓතිහාසික යුගය පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගනී. එ නම් ලේඛනය පිළිබඳ ආරම්භක අවස්ථාවක සාධක හමුවන එහෙත් නිසැක වශයෙන් ම අක්‍ෂර යනුවෙන් මේ වනතෙක් පිළිගෙන නොමැති යම්කිසි සන්නිවේදන මාධ්‍යයක් පැවැති යුගයක් වශයෙන් මෙම යුගය සලකයි. ඒ අනුව, ඉතිහාසයේ අරුණලු පහළ වූ යුගය යන අරුතින් මෙම යුගය ප්‍රොටෝ ඓතිහාසික යුගය යනුවෙන් හඳුන්වා ඇත. යකඩ තාක්‍ෂණය හඳුනාගත්, සත්ත්ව පාලනයේ හා සුළු පරිමාණ කෘෂිකර්මයේ නියැළුණු පිරිසක් මෙම අවධියේ දී ලංකාවේ ජීවත් වූ බව විශ්වාස කරයි. දළ වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 1,000 සිට ක‍්‍රිස්තු පූර්ව 300 අතර කාලය තුළ මෙම ප්‍රොටෝ ඓතිහාසික යුගය පැවැතුණු බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී ඇත.

ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ අධ්‍යයන සිදුකරන අයෙකුට ඓතිහාසික යුගයට පූර්ව කාලයක් පිළිබඳ අධ්‍යයනය කරන බැවින් දත්ත හා තොරතුරු ලබා ගැනීම සඳහා ලිඛිත මූලාශ‍්‍ර සපයා ගැනීමට නොහැකි ය. මෙම යුගය පිළිබඳ දත්ත හා තොරතුරු ලිඛිත නොවු මූලාශ‍්‍ර මගින් සපයා ගැනීමට සිදු වෙයි. මෙවැනි ලිඛිත නොවූ මූලාශ‍්‍ර අතර මානව හා සත්ව අස්ථි, ගල් ආයුධ, ආහාර අවශේෂ, පිළිස්සී ශේෂ වූ විවිධ ද්‍රව්‍ය හා අඟුරු, ශාක කොටස්, පරාග, භූ දර්ශනය, පාංශු ස්තරණය ආදි දැ පවතී. මේවා පුරාවිද්‍යාවේ දි ද්‍රව්‍යාත්මක සාධක වශයෙන් සලකන අතර ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සම්පූර්ණයෙන් ම පාහේ රදාපවතින්නේ මෙවැනි මූලාශ‍්‍ර මතයි.

ද්‍රව්‍යාත්මක මූලාශ‍්‍ර උපයෝගි කොටගෙන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ ලංකාවේ මානව ජනාවාස පිළිබඳ ආදීතම සාධක නිසැක වශයෙන් ම අදින් වසර 125,000 ඉක්මවා යන බව තහවුරු වී ඇත. එහෙත් මේ පිළිබඳ තොරතුරු ලාංකේය මහජනයා පමණක් නොව විද්වත් ජනයාගෙන් ද අතිශ්‍ය සුළුතරයකට පමණක් සීමා වී පවතී. එබැවින් අප තවමත් වසර 2,500ක ඉතිහාසය පිළිබඳ පමණක් දැනුවත් වූ ඒ පිළිබඳ කතාකරන ජාතියක් බවට පත් ව ඇත. ලාංකේය සංස්කෘතිය තුළ බෞද්ධාගමේ සංස්පර්ශය ලබමින් වාරි-කෘෂි සංස්කෘතියක් පිළිබඳ විශිෂ්ට බොහෝ දෑ මෙම 2,500 වසරක ඉතිහාසය තුළ කතාකිරීමට පැවැතියත් මේ තුළ දිවෙන මූලයන් වන ප‍්‍රාග් ඓතිහාසික හා ප්‍රොටෝ ඓතිහාසික තත්ත්වයන් පිළිබඳ දැනුවත් වීම ද අද දවසේ අතිශය වැදගත් වෙයි. නොමැතිනම් යථාවාදි අතීතය පසෙක තිබිය දී හුදු හිතළු මත පදනම් වූ අසංගත ඉතිහාස මායාවකින් ලාංකේය ජනයාගේ සිත් වසා දැමීමේ ප‍්‍රයත්නය සාර්ථක වී පවත්නා විශිෂ්ට අතීතය විනාශවීමේ හැකියාවක් පවතින බැවිනි.

අතීතයේ යුග 

වසර ලක්‍ෂ ගණනාවක් ඈතට දිවයන අතීතයේ එක් එක් කාලයන්ගේ පවත්නා පෙරටුගාමී සමාජ-තාක්‍ෂණික ලක්‍ෂණ අනුව යුග කීපයකට බෙදා ලංකාවේ අතීතය අධ්‍යයනය කිරීමට පුරාවිද්‍යාඥයන් උනන්දු වී ඇත. ආචාර්ය සිරාන් දැරණියගල විසින් වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ අනුව සිදුකළ වර්ගීකරණය එම අවධිකරණ කීපය අතුරින් සාර්ථක වර්ගීකරණයක් ලෙස පිළිගත හැකි ය. මෙම කාල වර්ගීකරණය ඔස්සේ ලක්දිව අතීතය විධිමත් හා පහසු අන්දමින් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබී ඇත. මෙම ලිපි පෙළේ සඳහා අදාළ කාලපරාසයන් ද මෙම යුගකරණය මත පදනම් වේ.

ක‍්‍රි. පූ. 125,000 (හෝ ඊට පෙර) සිට ක‍්‍රි. පූ. 1,000 දක්වා ප‍්‍රාග් ඓතිහාසික අවධිය- පුරාශිලා – මධ්‍යශිලා – නවශිලා
ක‍්‍රි. පූ. 1,000 සිට ක‍්‍රි. පූ. 500 දක්වා පූර්ව ඓතිහාසික යකඩ අවධිය
ක‍්‍රි. පූ 500 සිට ක‍්‍රි. ව. 300 දක්වා මූල ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 300 සිට ක‍්‍රි. ව. 1,200 දක්වා මධ්‍ය ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 1,200 සිට ක‍්‍රි. ව. 1,500 දක්වා අන්තර් ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 1,500 සිට ක‍්‍රි. ව. 1,815 දක්වා නූතන ඓතිහාසික අවධිය

ලොව ඕනෑ ම ස්ථානයක මෙන් ම ලංකාවේ ද ප‍්‍රාග් ඓතිහාසික යුගය හා බැදි තාක්‍ෂණික විධිය නම් ගල් ආයුධ නැතහොත් ශිලා මෙවළම් තාක්‍ෂණයයි. ඒ ඒ යුගවල පවත්නා විශේෂ වර්ධනීය ලක්‍ෂණ ඔස්සේ පුරාශිලා, මධ්‍යශිලා හා නවශිලා යනුවෙන් නැවැතත් ප‍්‍රභේදනය වන ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ප‍්‍රධාන තාක්‍ෂණය නම් ගල්ආයුධ තාක්‍ෂණයයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ, මධ්‍යශිලා යුගයේ ජීවත් වූ මානවයා, බලංගොඩ මානවයා යන නමින් ජනප‍්‍රිය වී ඇත. බලංගොඩ ආසන්න ප‍්‍රදේශයෙන් පළමු ව මෙම මානවයා පිළිබද සාධක ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් අනාවරණය කරගෙන ඇත. ලෝක පුරාවිද්‍යාවේ දී පිළිගත් ක‍්‍රමවේද අනුව යමින් යම් සොයාගැනීමක් සිදුකළ පළමු ස්ථානය අනුව අදාළ සොයාගැනීම නම් කිරීමේ සම්ප‍්‍රදාය අනුව මේ මානව සාධක බලංගොඩ මානවයා නමින් හඳුන්වයි. මේ හා සමාන සාධක කුමන ස්ථානයකින් හමු වුව ද ඒවා බලංගොඩ මානවයා නමින් ම හඳුන්වනු ලැබේ. කායව්‍යවච්ඡේද විද්‍යාත්මක ව නූතන මානවයා (Modern man) පිළිබඳ මුළුමහත් ලෝකයෙන් ම ලැබෙන සාධක අතරින් ලංකාවෙන් ලැබෙන මෙම සාධක පැරණි ම සාධක අතර පවතින බව භෞතික මානව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.

බලංගොඩ මානවයා තමාට අල්ලාගත හැකි අලි පැටවාගේ සිට ගැරඬියා දක්වා සියලූ ම සතුන් හා කෑමට සුදුසු සියළු ගෙඩි, අල, කොළ, හා මල් වර්ග අනුභවයට ගත් තිරුවාණා, කහඳ, කළුගල් වැනි ගල් වර්ගවලින් නිර්මාණය කරගත් පාෂාණ මෙවළම් භාවිත කර දඬයමෙන් ජීවනය සපයාගනිමන් සංචාරක ජීවිතයක් ගතකළ අයෙක් විය. අදින් වසර 125,000කට නිසැක වශයෙන් දිවයන සමහර විටෙක අදින් වසර 500,000ක පමණ කාලයක සිට ලංකාවේ ජීවත් වන මෙම මානවයා වර්තමානයේ අප අතර ගැවසෙන අපේ ඥාතීන් මිතුරන් නැතහොත් අප දක්වා විකාශය වූ කතාව මෙම ලිපි පෙළින් ගෙනහැර දැක්වීමට අපේක්‍ෂා කෙරේ. එනම් සරළ අාකාරයෙන් ජීවත් වූ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා අප දක්වා විකාශය වූ ආකාරය පිළිබඳ පිළිවෙල කතාවයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ ඉමහත් උනන්දුවකින් ක‍්‍රියාකළ ඊ.ජේ. වේලන්ඞ් නම් භූ විද්‍යාඥයා විසින් 1956 දී ලියා තබා ඇති පහත උද්ධෘතය සිතෙහි රදවා ගැනීම මෙම විෂයේ ඇති සංකීර්ණ බව හා සීමාකම් අවබෝධ කරගැනීමට හේතු වෙයි.

“බොහෝ ගැටළු සහිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසයේ, ඒ හා සම්බන්ධ ගැටළු සඳහා අයෙකුගේ ජීවිත කාලයක් තුළ සිදුකරන පර්යේෂණතුළින් හෝ පිළිතුරු සෙවිය නොහැක. ලංකාවේ ඉතිහාසය, වර්තමානය හා අතීතය එක් ග‍්‍රන්ථයකින් නිරූපනය කළ නොහැක. එය කළ හැක්කේ පුස්තකාලයක් තුළින් පමණි.”

ශ‍්‍රි ලංකාව හා එහි ජනයාගේ ප‍්‍රාග් ඉතිහාසිය පිළිබඳ දැනුවත් වීම හුදු හිත සනසාගැනීමකට පමණක් සීමා නොකොට ලාංකේය අනාගත පුනරුත්ථානය උදෙසා මාර්ගයක් කර ගැනීමට ද හැකි වනු ඇත.

බුලත්සිංහල ෆා-හියං ගුහාව – බොහෝ තොරතුරු සැඟ වී තිබිය හැකි තවත් බලංගොඩ මානව වාසස්ථානයක්
බුලත්සිංහල ෆා-හියං ගුහාව – බොහෝ තොරතුරු සැඟ වී තිබිය හැකි තවත් බලංගොඩ මානව වාසස්ථානයක්

පරිශිලනය කරනු ලබන පොත් හා ලිපි නාමාවලිය [දේශීය හා විදේශිය විවිධ විද්වතුන් විසින් සිදුකරන ලද අධ්‍යයන හා පර්යේෂණයන්ගෙන් අනාවරණය වූ දත්ත හා තොරතුරු අනුව මෙම ලිපිපෙළ සකසනු ලබන අතර ඒ එක් එක් පරිශීලන අදාළ ස්ථානයන්ගේ දැක්වීමෙන් වලකිනුයේ පාඨකයාගේ සුගම කියවීමට එය බාධාවක් විය හැකි බැවිනි. එ බැවින් ඒ සියලූම විද්වතුනට සම්පූර්ණ ගෞරවය හා ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙම ලිපි පෙළේ කතුවරයා හා archaeology.lk වෙබ් අඩවිය මෙය අවස්ථාවක් කරගනු ලැබේ. යම් පාඨකයෙකුට අදාල පරිශිලන, වැඩි විස්තර හෝ අපැහැදිළි ස්ථාන වඩාත් හොඳින් පැහැදිළි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා Comment පහසුකම භාවිත කරන්න. ඒ පිළිබඳ විමසීම් හා පැහැදිළි කරගැනීම් සඳහා මෙම ලිපි රචකයා හෝ වෙබ් අඩවිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇත.]

Previous articleශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය : ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය
Next articleශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 2 : භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක පසුබිම
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

22 COMMENTS

  1. “කායව්‍යවච්ඡේද විද්‍යාත්මක ව නූතන මානවයා (Modern man) පිළිබඳ මුළුමහත් ලෝකයෙන් ම ලැබෙන සාධක අතරින් ලංකාවෙන් ලැබෙන මෙම සාධක පැරණි ම සාධක අතර පවතින බව භෞතික මානව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.”

    මෙහි කියැවෙන භෞතික මානව විද්‍යාඥයින් කවරහුද? ..පැහැදිලි කිරීමක් සමග මූලාශ්‍ර දැක්විය හැකිද?

  2. ඉතාමත්ම වටිනා ලිපියක්. හරිම ආසාවෙන් කියවීමි. මම දැනට විනෝදාංශයක් ලෙස ඉතිහාසය ,පුරාවිද්‍යාව ගැන අධ්‍යයනය කරමි. පුරාවිද්‍යාව ගැන අධ්‍යයනය කිරීමට ඇති අවස්ථා සීමීත හෙයින් මෙවැනි ලිපි ඉතා අගය කොට සලකමි.

    • මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් අගය කරන අතර එය ඔබට දැනුම පුළුල් කර ගැනීමට උදව් වනු ඇතැයි සිතමි.

  3. ගණිතය හා තොරතුතරු තාක්ෂණ ගුරුවරයෙකු ලෙසත් තොරතුරු තාක්ෂණ පද්ධති සංවර්ධනය සහ ක්‍රම විශ්ලේෂණය, මෘදුකාංග ශිල්පියෙකු ලෙසත් කටයුතු කළද ඉතිහාසය පිළිබඳ මාගේ උනන්දුව වයසින් මුහුකුරා යත්ම මා තුල ක්‍රමයෙන් වැඩිවනු මට දැනේ. මෙම ලිපි පෙළ මාගේ එම පිපාසයට අගනා දිය කඩිත්තකි. මෙහි එන කරුණු සංවාදයට බඳුන් කිරීම සඳහා විෂයය පිළිබඳ උනන්දුවක් දක්වන මාගේ මිතුරන් වෙත යොමු කරමි. වර්තමානයේ බොහෝ ප්‍රශ්ණ වලට හේතුව ඉතිහාසය තුල සැඟවී ඇතැයිද එම ප්‍රශ්ණ හරියාකාරව අවබෝධ කර ගැනීමට අනිවාර්යෙන්ම ඉතිහාසය හැදෑරිය යුතු යැයි ද මම විශ්වාස කරමි. ඔබේ මෙම විශ්ව සේවය ඉතා ඉහළින් අගය කරමි. ජය වේවා.

  4. in the artical say 500,00 years, of old history, 125,00 years we have proof, before that what are the points to say we are here,
    tks
    saman

    • //අදින් වසර 125,000කට නිසැක වශයෙන් දිවයන සමහර විටෙක අදින් වසර 500,000ක පමණ කාලයක සිට ලංකාවේ ජීවත් වන මෙම මානවයා//
      මෙම ලිපි මාලාවේ “ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 6 : පුරාශිලා යුගය” වැනි ලිපිය කියවන්න. පිළිතුර එහි ඇත.

  5. මෙය ඉතා වටිනා ශාස්ත්‍රීය මැදිහත් වීමකි. කවර හේතුවක් නිසාවත් අධෛර්ය නොවී ඉදිරියටම කරගෙන යන්න.

    • පිං සිදු වේවා නීල් පෙරේරා මැතිතුමා

  6. ඉතාම පැහැදිලි යි. නොතේරෙන බොබොහොමයක් තේරුම් ගැනීමට පහසු උනා.ගොඩාක් පිං..

  7. මූල ඓතිහාසික අවධිය පිළිබඳව තවත් කරුණු දැන ගැනීමට හැකියාව තිබේ ද?

    • ඉදිරියේ දී ඒ පිළිබඳ ලියන්න බලන්නම්. ස්තුතියි අදහස් දැක්වීමට.

  8. ඉතා අගනා මෙහෙවරක් ඔබතුමාට බොහොම පිං.

    • පිං සිදු වේවා හාමුදුරුවනේ

  9. දැඩි ආශාවක් ඇතිවෙනවා මෙවා කියවනකොට

  10. බාහිර ව සිට පුරා විද්‍යාව අධ්‍යයනය කරන අපට අධ්‍යයන පහසුකම් අඩුපාඩු බොහෝමයක් පවතින තත්ත්වය තුළ ඔබතුමා ගේ මේ ලිපි පෙළ ඉතා විශාල සහයක් සපයනවා. පළමු ව ඊට මේ ස්තුතිය.
    02) “ අදාළ කාලපරාසයන් ද මෙම යුගකරණය මත පදනම් වේ. “ යනු වෙන් ඔබතුමා දක්වා ඇති යුග බෙදීම් සීමා වකවානු, ලංකාවේ ප්‍රාග් ඉතිහාසය ට පමණක් අදාළ ව කළ එකක් ද ? ලෝක පුරා විද්‍යා යුගකරණය සඳහා ද මේ සීමා එලෙසින් ම යොදා ගත හැකි ද?

    03) මේ යුග බෙදීම් කිරීම ට හා සීමා නීරණ පිහිටුවා ගැනීම ට පදනම් කර ගන්නා නිර්ණනායක ගැනත් සරළ ව හෝ හැඳින්වීමක් කෙරේ නම් ඉතා වටිනවා.

    ස්තුතියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here