පුරාණ ලංකාවේ බලකොටු හා ඒ හා බැඳුණු ආරක්‍ෂක ක‍්‍රමවේද

එච්.එම්. ඉසුරු හේරත්

හැඳින්වීම

එච්.එම්. ඉසුරු හේරත්

පුරාතන සහ වර්තමාන ලෝකයේ බිහි වු ආරක්‍ෂක විශේෂඥයින් අනේකවිධ හේතු මත විවිධාකාර හැඩයෙන්, විශාලත්වයෙන් යුතු බලකොටු ඉදිකලහ. ඒවායේ ආරක්‍ෂාවට විවිධාකාර ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කළහ. ඇතැම් විට දේශපාලනික හෝ සමාජාර්ථික හේතු මත විවිධ උපක‍්‍රම යොදා බලකොටු අත්පත් කොට ගත්හ. සාහිත්‍ය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලට අනුව ලෝක ඉතිහාසයේ පැවති බලකොටු හෝ බලකොටු නගර අතර ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි ඇලමෝ (Alermo) බලකොටුව, ග‍්‍රීසියේ ඇතන්ස් (Athens) බලකොටු නගරය, ඉතාලියේ රෝමය (Rome), ඉන්දියාවේ දෞලතාබාද්, ගවාලියෝර්, රතු බලකොටුව, පාටලීපුත‍්‍රය, මධ්‍යම ආසියාවේ සමර්කාන්ඩ්, චීනයේ තහනම් නගරය, මැදපෙරදිග මැසඩා (Mazada) බලකොටුවට සිහියට නැගෙයි. යුරෝපාගමනයට පෙර පුරාතණ ලංකාවේ ද බලකොටු පැවති බවට සාධක අනුරාධපුරය, පොළොන්නරුව, උදුන්දොර, සීගිරිය, යාපහුව, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහනුවර යන ප‍්‍රදේශවලින් හමුවන බලකොටු නටඹුන් වැනි පුරාවිද්‍යාත්මක මුලාශ‍්‍රයන් සහ මහාවංශය, රාජාවලිය, උම්මග්ග ජාතකය වැනි දේශීය සාහිත්‍ය මුලාශ‍්‍රයන් මගින් ද ලැබෙයි. මීට අමතරව මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳව සෙනරත් පරණවිතාන, ටී.ජී. කුලතුංග, මාලිංග අමරසිංහ, විල්හෙලම් ගයිගර්, ඉන්ද්‍රකීර්ති සිරවීර, ඩී.ටී. දේවේන්ද්‍ර, ඇම්.බී. ආරියපාල, ජේ.එම්. සුධර්මාවතී, එල්ලාවල මේධානන්ද හිමි හා සේනක බණ්ඩාරනායක වැනි නූතන උගතුන් පර්යේෂණ පවත්වා තිබේ. වංශකථාවලට අනුව විජයාගමනය හා සබැඳි පුරාවෘත්තවල සීිර්සවත්ථුපුරය නම් ස්වදේශිකයන් අයත් බලකොටු නගරයක් පිළිබඳව විස්තර අන්තර්ගත වෙයි. එ සේම මහාවංශයේ මහත් අභිරුචියෙන් වර්ණිත දුටුගැමුණු කථා වස්තුවේ මාගම සිට මහවැලි ගඟින් උතුරට මහියංගනය, අම්ඹතිත්ථ, සත්බෑ කෝට්ටය, අන්තරා සොබ්භ, දෝණ, හාලකෝල, නාලිසොබ්භ, දිඝාභයගල්ල ඇතුළු බලකොටු 18ක් අල්වා ගත් බවට සඳහන් කරයි (මේධානන්ද 2002:50). ක‍්‍රිස්තු වර්ෂ 5 – 6 සියවසේදී ධාතුසේන රජතුමා ද දකුණු ඉන්දීය සතුරන් පරදවා දිවයින පුරා බලකොටු 21 සැකසූ බව ලක්දිව ඉතිහාසයේ සඳහන් වෙයි. ධාතුසේන රජුගේ අප‍්‍රධාන බිසවකගේ පුත් කාශ්‍යප රජතුමා ද සීගිරි බලකොටුව කර වු අතර පොළොන්නරු යුගයේ පාලකවරුන් වන 1 විජයබාහු, 1 පරාක‍්‍රමබාහු යනාදීහු ද ස්වකීය යුද්ධ ව්‍යාපාරවල දී තාවකාලික බලකොටු ඉදිකොට තිබේ. ක‍්‍රිස්තු වර්ෂ 1215 කාලිංග මාඝගේ ආක‍්‍රමණයට එරෙහිව ශ‍්‍රී ලාංකේය දේශපේ‍්‍රමීහු ගොවින්දහෙල, මිනිපේ, යාපහුව සහ දඹදෙණිය කේන්ද්‍රකොට ගෙන ප‍්‍රබල බලකොටු තනා දිවයිනේ සෙසු ප‍්‍රදේශ ආරක්‍ෂා කළහ. ක‍්‍රිස්තු වර්ෂ 15 නිශ්ශංක අලගත්කෝනාර යාපනයේ පාලකයාගේ බලපෑමෙන් ශ‍්‍රී ලංකාව බේරා ගැනීම සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුව ඉදි කළේය. ක‍්‍රිස්තු වර්ෂ 15-19 පැවති මහනුවර රාජධානි සමයෙහි ගලගෙදර, ගිරිහාගම, බලන වැනි යුදමය වශයෙන් වැදගත් මරමස්ථාන වල බලකොටු ඉදිකොට තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ යුරෝපීයයන් අාගමනයට පෙර ශ‍්‍රී ලංකාවේ පැවති බලකොටු ආශ‍්‍රිත ආරක්‍ෂක ක‍්‍රමෝපායෙන් පර්යේෂණ දෘෂ්ඨි කෝ්ණයෙන් හඳුනා ගැනීම ය. පර්යේෂණ ක‍්‍රමවේද වශයෙන් නිරීක්‍ෂණය සහ පුස්තකාල ගවේෂණ ක‍්‍රමය භාවිත කෙරිණි.

බලකොටු ආශ‍්‍රීත ආරක්‍ෂක ක‍්‍රමවේද

පුරාතන ලෝකයේ පෙර අපර දෙ දිග ජාතිහු බලකොටු, බලකොටු නගර, තාවකාලික කඳවුරු, සුරක්‍ෂිත කිරිම සඳහා විවිධාකාර ආරක්‍ෂක ක‍්‍රමෝපායන් ක‍්‍රියාගත කළහ. රෝමාන්වරු වඩාත් සුරක්‍ෂිත දරුණු වැටලීමකට (Siege) ප‍්‍රහාරයකට ඔරොත්තු දිය හැකි දෘඩ ගල්කුට්ටි, දැව හෝ ගඩොලින් නිම වු බලකොටු සහ තාවකාලික කඳවුරු (Camp) ඉදිකළහ. එහි සැලැස්ම බොහෝ විට ඍජුකෝණස‍්‍රාකාර හැඩයක් ගත් අතර තරමක උස් බිමක ගොඩනැංවිම සිරිත විය. බලකොටු සීමාව මුළුමනින්ම වෙලුම් (Vallum) හෙවත් ප‍්‍රාකාරයකින් නිර්මිත වු අතර එය ප‍්‍රධාන දොරටු හතරකින් සහ මුර අට්ටාල (Santry Towers) 12කින් සුරක්ෂිත විය. බලකොටු පවුරින් එපිට අවකාශය දිය හෝ මඩ අගලකින් (Pitch) සහ ලී උල් සහිත ලොකු කුඩා බොරුවලවලින් සමන්විත විය. පොදුවේ බලකොටු සහ බලකොටු නගර වල නේවාසිකව රාජකාරී කළ සෙබළු ලිමිටානියස්වරුන් (Limitanei) යනුවෙන් හැඳින්විය (හේරත් 2016:174-175). පෙරදිග ලෝකයේ බලකොටු සැකසීම පිළිබඳව විමසා බැලීමේ දී කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රයෙහි පෙන්වා දෙනු කරුණු වැදගත් වෙයි (බෂාම් 1962:176). අර්ථ ශාස්ත‍්‍රයට අනුව ජනපද සීමාවන්හි සිවු දිශාවෙන් යුද්ධයකට සුදුසු, ස්වභාවික ස්ථාන වල බලකොටු ගොඩනැංවිය යුතු වන අතර ජලයෙන් වටවුණු දූපතක ඉදිකරන බලකොටුව ඖධක වෙයි. ජලය, තෘණ ආදියෙන් තොර නිසරු ප‍්‍රදේශයක සකසන බලකොටු ධාන්වන වේ. ගස් කොළන් බහුල ස්ථානයක ඉදිකරන බලකොටුව වන දුර්ග වෙයි. කටු පදුරු වලින් ගැවසුන වගුරු බිමක ඉදිකරන බලකොටුව ඛජන නම වෙයි (කෞ. අර්ථ සාස්ත‍්‍රය 2003:134-135). මීට අමතරව බලකොටුවක් හෝ බලකොටු නගරය මුර අට්ටාල, දිය අගල් වලින් සමන්විත විය යුතු බව කෞටිල්‍ය පෙන්වා දෙයි. ඇතැම් විට කෞටිල්‍යයට මෙම බලකොටු හා සම්බන්ධ උපදෙස් ස්වකීය කෘතියට අන්තර්ගත කිරීමේ දී ඇකිමෙනිඩ් පර්සියානු අධිරාජ්‍යයේ බලකොටු තැනීමේ උපදෙස් මෙන්ම අපරදිග බලකොටු ඉදිකිරීමේ ක‍්‍රම ශිල්ප වලට ණයගැති වෙන්නට ඇත. මෙකල කෞටිල්‍ය සිටි තක්ෂිලාව කලක් පර්සියානු අධිරාජ්‍යයට යටත්ව පසුව තාවකාලිකව මහ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට යටත් වුණු එමෙන්ම ප‍්‍රකට කීර්තිමත් අධ්‍යාපන ආයතන වලින් සමන්විත නගරයකි. එබැවින් කෞටිල්‍ය මෙම උපදෙස් ස්වකීය ගෝලයා වන චන්ද්‍රගුප්ත මෞර්යයට ලබා දෙන්නට ඇත. එය වඩාත් තහවුරු වන්නේ බාහිර උවදුරු මැඩලා චන්ද්‍රගුප්ත ඉදිකළ පාටලීපුත‍්‍ර අගනුවර සැලසුම ඇකිමෙනිඩ් පර්සියානු අධිරාජ්‍යයේ අගනුවර වන පර්සි පොලිස් (Persipolis) වලට සමාන වීමෙනි. මෙය ස්පූනර් කළ කැනීම් මගින් වඩාත් තහවුරු විය. මෙගස්තිනස් පෙන්වා දෙන පරිදි පාටලීපුත‍්‍රය දුනුවායන්ගෙන් පිරිගිය මුර අට්ටාල 570කින් සහ ආරක්‍ෂිත දොරටු 64 සමන්විත, ශක්තිමත් දාරුමය ප‍්‍රාකාරයකින් අන්තර්ගත බලකොටු නගරයකි (බෂාම් 1962:176).

අනුරාධපුර බලකොටු නගරය (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

සිංහල රජදරුවන් සහ මෞර්යය රජදරුවන් අතර පැවති දේශපාලන සහ සංස්කෘතික සම්බන්ධතා, පෙර අපර දෙ දිග තානාපති සහ වෙළඳ සම්බන්ධතා, සංක‍්‍රමණ, ආක‍්‍රමණ, තුළ හමුදා ගෙන්වීම් වැනි අනිවාර්ය ඵෙතිහාසික සාධක නිසා ලංකාවට බලකොටු හා ඒ ආශ‍්‍රිත විවිධාකාර යුධ තාක්‍ෂණය ලැබෙන්නට ඇත. ඇතැම් විට එකී තාක්‍ෂණයන් ද එක්කාසු කරමින් සහ ස්වකීය තාක්‍ෂණික කුසලතා එකතු කර ගනිමින් පුරාතන ලාංකේය යුද්ධ විශේෂඥවරුන් ද බලකොටු, කඳවුරු බලකොටු නගර ඉදිකරවන්නට ඇති බවට සිතිය හැක. ඉපැරණි අනුරාධපුර, පොළොන්නරුව, සෙංකඩගල නුවර, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන බලකොටු (බලකොටු නගර) ජලය හා බැඳුණු බලකොටු ආරක්‍ෂණ විධික‍්‍රම භාවිත කොට තිබේ. නිදසුන් ලෙස අනුරාධපුරය, මල්වතු නිම්න ප‍්‍රදේශයේ ඉදිකොට අභය වැව, බුලන්කුලම වැව, නුවර වැව සහ තිසා වැව යන කෘතීම ජල දුර්ග, නගරයට මධ්‍යගත වන සේ ඒ අවට සුරක්‍ෂිතව නිර්මාණය කොට තිබේ (කුලතුංග 1988:151). ඇතැම් විට සතුරු උවදුරක දී වැව් කණ්ඩිය බිඳ දමා සතුරන්ව විනාශ කොට හෝ කොටු කොට බලකොටු නගරය සුරක්‍ෂිත වන සේ අනුරාධපුරය අවට මෙම ජල දුර්ග මාර්ග නිම කරන්නට ඇත. පොළොන්නරුව තෝපා වැවට සම්බන්ධ කොට තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුව දියවන්නා ඔයෙන් සහ වගුරු බිම් කඩකින් වට වී තිබේ. සෙංකඩගල නුවර (මහනුවර) මහවැලි ගෙඟන් සහ නුවර වැවෙන් සුරක්‍ෂිත වී ඇත. බලකොටු නගරයක් කවාකාර සතරැස් හෝ ඍජුකෝණාස‍්‍රාකාරව ඉදිකළ යුතු බවත්, සෑම පැත්තකින්ම එක් දණ්ඩක (දණ්ඩ යනු අඩි 6 කි.) අන්තරය සහිත වූ ද, දණ්ඩ 14, 12 සහ 10 අතර පළලින් යුතු දිය අගල් තුනක් ඉදිකළ යුතු ය. එහි ගැඹුර බවෙන් අර්ධයක් විය යුතු ය. අගලේ දෙ පැත්ත ගලින් හෝ ගඩොලින් සකසා වර්ෂය පුරා දිය අගලට ජලය ලැබෙන සේ නිමවා කිඹුලන් ඇති කළ යුතු ය. දිය අගල් වල අඩි 24ක් ඇතුළතින් අඩි 36ක් පමණ උසැති, එමෙන්ම පළල උස මෙන් දෙ ගුණයක් ඝනකමින් යුතු ගල් ප‍්‍රාකාරයක් ඉදිකළ යුතු ය. ගවයින් සහ අලීන් ලවා පාගවා ප‍්‍රාකාර පදනම ශක්තිමත් කොට විෂ කටු ගස් විශේෂ පැළ කළ යුතු ය (කෞ. අර්ථ ශාස්ත‍්‍රය 2003:134-135). ප‍්‍රධාන ප‍්‍රාකාරයට පසුව නියමිත දුර ප‍්‍රමාණයෙන් පළල මෙන් දෙගුණයක් පමණ උසින්වු අවශේෂ ප‍්‍රාකාර දෙකක් ගඩොලින් බැඳ අගල කටුවැලි සහ ජලයෙන් පිරවිය යුතුය (කුලතුංග 1988:152). යනුවෙන් කෞටිල්‍ය උපදෙස් රාශියක් ලබා දුන්න ද, බොහෝ කරුණු ගතානුගතික බව විල්හෙලම් ගයිගර් පෙන්වා දෙයි (ගයිගර් 1969:72). කෞටිල්‍යගේ කරුණු වල ප‍්‍රායෝගිකභාවය කෙසේ වෙතත් ලාංකිකයන් ද බලකොටුව අවට ප‍්‍රාකාර සහ දිය අගල් තැන වු බවට සාධක අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, යාපහුව, පඬුවස් නුවර බලකොටු සහ බලකොටු නගර පරීක්‍ෂා කිරීමේ දි පෙනී යයි (අමරසිංහ 2005:29).

කූටකණ්ණතිස්ස රජතුමා සත්රියන් උස ප‍්‍රාකාරයක් සහ අගලක් අනුරාධපුරය වටා ඉදිකළ අතර ක‍්‍රිස්තු වර්ෂ 1 සියවසේ දී වසභ රජතුමා පෙර සඳහන් කළ අගනුවර ප‍්‍රාකාරය රියන් 11 දක්වා උස් කොට සකසා දොරටු සතරෙහි මුරගෙවල් සතරක් නිර්මාණය කළ බව මහාවංශය පෙන්වා දෙයි (දේවේන්ද්‍ර 1970:155). මෙම ප‍්‍රාකාරය සැතපුම් 3/4 X 3/4 දිගින් යුක්තය. ථූපවංශයට අනුව එය උතුරේ සිට දකුණට පැවති දුරම පෙරදිගටත් බටහිරටත් වු බවට සඳහන් වෙයි. (ථූපවංශය 1959:17) සීගිරි බලකොටුව ප‍්‍රාකාර තුනකින් සහ දිය අගල් දෙකකින් සමන්විත ය. විශේෂයෙන් පිටත ප‍්‍රාකාරය මැටියෙන්ද මධ්‍ය ප‍්‍රාකාරය ගඩොලින් ද ඇතුළු ප‍්‍රාකාරය ගල්, ගඩොල් සහ මැටියෙන් ශක්තිමත් කර තිබේ (අමරසිංහ 2005:29).

පොළොන්නරුව බලකොටු නගරය (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

පළමු වන විජයබාහු, පළමු වන පරාක‍්‍රමබාහු යන රජ දරුවන් ද පොළොන්නරු බලකොටු නගරය වටා ප‍්‍රාකාර තුනක් සහ දිය අගලක් නිර්මාණය කොට තිබේ (කුලතුංග 1988:155). විශේෂයෙන්ම පොළොන්නරුව රාජ, සිංහ, හස්ති, ඉන්දු, හනුමන්ත, කුවේර, චණ්ඩි, රාක්ඛස, සර්ප, ජල, උද්‍යාන, මායා, මහාතිත්ථ, සහ ගාන්ධර්ව යනුවෙන් දොරටු 14ක් තිබු බව පෙනේ. මෙම දොරටු ඉහළින් ඇති තොරණේ දොරටුව කැඩිමට එන සතුරු ඇතුන් සහ සතුරන් මර්ධණයට කැකූරූ ලෝහ ගුලි සහ කකාලඋණ ලෝහ මැලියම් වක් කළ හැකි ස්ථාන තිබු බව වංශකථා වල සඳහන් විප්තපුරසටහනින් මොණවට පැහැදිලි වෙයි. එය මෙසේය.

“ඒ නුවර වනාහී පරිඛාත‍්‍රයක්ද උස් වු ද පවුරු තොරන්ය. ලොහොකම් කළ දොරය (යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙළිය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණන් හිඳි දෙදළින් ගල් සුණු ගඩොල් බිඳ යදොරට පැමිණියේය. තොරණ හුන් දෙමළු අනෙක ප‍්‍රකාර ආයුධයන් ද කකියා ගියලොහෝ ගුලි ද එ සේම කකාළ මැලියම් ද දැමුය. පිටලූ ලහටු දුමන කළ කඩොලැත් තෙමේ දුවමින්, වේදනාවෙන් මිරිකුණේ උදක ස්ථානයට ගොස් එහි ගිලිණි ….” (මහාවංශය 25 පරි; ගාථා 28-31).

ගෝපුර යනුවෙන් ද හැඳින්වෙන්නේ පෙර සඳහන් කළ දොරටුවට ඉහලින් සකසන ලද ආරක්ෂක නිවස්න විශේෂයකි (කුලතුංග 1988:160). දිය අගල්, ප‍්‍රාකාර සහ ගෝපුර වලට අමතරව අට්ටාල යනු බලකොටුවේ කොටු බැම්මේ දොරටුව සහ ප‍්‍රාකාරය තීරණාත්මක හෝ හදිසි අවස්ථා වල ආරක්‍ෂා කර ගැනීමේ දී සෙබලුන්ට ගැවසීම සඳහා නිමවා ඇති ඉදිරියට ගිය මැස්සක් වැනි කොටසක් බව පෙනේ. කොට්ඨක යනු, ප‍්‍රාකාරය හෝ දොරටුව විනාශ කිරීමට පැමිණෙන සතුරාට සැඟව සිට ප‍්‍රතිප‍්‍රහාර දීමට අට්ටාලයකට වඩා ප‍්‍රාකාරයේම ගොඩනංවන ආරක්‍ෂක කාමර විශේෂයකි. පළමු වන පරක‍්‍රමබාහු රජුගේ සෙනවියන් දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කළ සමයේ දී කුන්දුකාල් ප‍්‍රදේශයේ සකසන ලද බලකොටුව දෘඩ ගලින් කළ පවුරු තුනකින් ද දොරටු 12ක් සහ මධ්‍යයේ චතුස් ශාලාවකින් ද සමන්විත විය. මීට අමතරව තොරණ යනු බලකොටුවට ඉහළින් සකසා තිබෙන ආරුක්කු විශේෂයක් බවත් කඩොල් ඇතු දොරටුවට පහරදුන් විට තොරණේ කොටස් ඇතු මතට කඩා වැටීමෙන් පෙන්නුම් වෙයි (කුලතුංග 188:161).

සාමාන්‍යයෙන් බලකොටු නගරයක් ඇතුළු නුවර සහ පිටත නුවර යනුවෙන් කොටස් දෙකකට බෙදනු ලැබින. පාලකවරු, වෙනත් ප‍්‍රභූවරු, භික්‍ෂු කොටස් පූජනීය වස්තුවල වාසස්ථාන ඇතුළු නුවර ස්ථාපිත වු අතර පිටත නුවර රෝහල්, ධාන්‍යාගාර, බැරැක්ක, අශ්ව හෝ ඇත් ගාල, කම්මල්, භෝජන ශාලා ස්ථාපිතව පැවති බව අනුරාධපුර, සීගිරිය, සහ යාපහුව බලකොටු නිරීක්‍ෂණය කිරීමෙන් පැහැදිලි වෙයි. භූගෝලීය පදනමක් පැවතිය ද මහනුවර යුගයේ ද ගිරිහාගම, ගලගෙදර, සහ බලන බලකොටු බැලුම්ගල්වල හෝ බැලුම්ගල්වලට ආසන්න උස්බිම් වල නිමවා තිබිණි. ගිරිහාගම බලකොටුව චතරාස‍්‍රාකාර ඉදිරිපසින් සහ පසු පසින් දොරටු නිමවා තිබිණ. මහනුවර යුගයේ කපොලු ආශ‍්‍රිතව උස්බිම් වල හෝ බැලුම්ගල් වල කුඩා බලකොටු නිර්මාණය කරන්නට ඇත්තේ ඈත සිටම සතුරා හඳුනාගෙන ගිනි දල්වා අනතුරු සංඥා දී, පසුව ගරිල්ලා ප‍්‍රහාර දීම සඳහා විය යුතු ය (හේරත් 2016:60). එය වඩාත් තහවුරු වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1761 උඩරැටියන් සතුව පැවති ගිරිහාගම බලකොටුව අත්අඩංගුවට ගත් ෆේබර් නම් ලන්දේසී සෙබලෙකුගේ පහත දැක්වෙන ප‍්‍රකාශයකිනි.

“මෙම ස්ථානය ආරක්‍ෂා කර ගැනිමට සතුරාට ආයුධ උවමනා නැත. ගල් කැබලි විසි කිරීමෙන් පමණක්ම ඔවුන්ට අපව පසුබැස්සවීමට ඉඩ තිබිණ” (දේවරාජ 1997:17)

මීට අමතරව පළමු වන පරාක‍්‍රමබාහු රජුගේ සෙබලු මිහිරණ බිබ්බිල අසල ඉදිකරවන ලද තාවකාලික බලකොටුවක් සබැඳි මහාවංශ පුවතකින් බලකොටු ආරක්ෂණ ක‍්‍රමවේද පිළිබඳ තොරතුරු සමුදායක් ලබා ගත හැකි ය. එයට අනුව හෙල්ල උල් හා සමාන උල් සාදා පොළොවෙහි සිටුවන ලදී. මීට ලොකු උල් එකට වෙලා උල් පේළි දෙක අතර බොරු වළවල් සහිත පරිඛාවක් ද සාරවන ලදී. මෙවැනි පරිඛා අන් තැන්හි දී ද තනවන ලදී. පසුව කඳවුර වටා ඊ දෙකක් යන දුරින් පමණ පළලැති බිම් ප‍්‍රදේශයක කැලෑව කපා දමන ලදී. වනය හරහා වැටී තිබුණ අඩි පාර, පාවිච්චි කළ නොහැකි වන සේ උල් කටු දමා වැලි සහ වියළි කොළවලින් වසා දමන ලදී (බොරු වළවල්). මෙම දුර්ගය මැද තට්ටු සතරකින් යුත් ගොඩනැඟිල්ලක් සැකසිණ. සතුරු සේනාව ළං වු විට දුනුවායෝ මෙහි සිට ඊතල සහිත ගල් වර්ෂාවක් වැස්ස වුහ. තියුණු උලැති උණ කෝටු පත්තුකොට සතුරු සේනාව මැදට යන්ත‍්‍රවලින් විසි කරන ලදී (මහාවංශය 1996:177). විධිමත් සැලසුමකට අනුව ඉදිකරවන ලද පඬුවස්නුවර බලකොටුව දිය අඟල් සහ පවුරුවලින් විශිෂ්ට ලෙස සුරක්ෂිත කර ඇත. පඩා වැවෙන් මෙහි දිය අඟල්වලට ජලය සැපයු බව පෙනේ. ගඩොලින් සකසා බදාමයෙන් කපරාරු කොට ඇති මෙහි පවුර උතුරේ සිට දකුණට මීටර් 300ක් පමණ දිගු වන අතර නැගෙනහිර සිට බටහිරට එය මීටර් 330කි (අමරසිංහ 2005:33). වංශකථාවලට අනුව එම බලකොටුවෙහි ද වාසල්, අට්ටාල සහ ගෝපුරවලින් ආරක්ෂාකොට තිබිණි (අමරසිංහ 2005:33). තුන්වන විජයබාහු රජු ක‍්‍රිස්තු වර්ෂ 13වන සියවසේ ඉදිකරවන ලද දඹදෙණි පර්වත මස්තකයේ පිහිටි බලකොටුව කළුගල් පවුරකින්, මැටි පවුරකින් සහ දාරුමය ප‍්‍රාකාරයකින් වටකොට තිබු බව දඹදෙණි අස්න වාර්තා කරයි. සුබ නම් සෙනෙවියෙකු විසින් කරවන ලද යාපහුව බලකොටුව ස්වභාවික පර්වතයට අළලා අර්ධ කවාකාර ප‍්‍රාකාර සහ දිය අඟල්වලින් නිමවා තිබේ. බලකොටුවට පිවිසීමට දොරටු ද්විත්වයක් නිමවා ඇත. මෙහි දි ඇතුළු නුවර සහ පිටත නුවරකින් ද සමන්විත ය (විජයවර්ධන 2011). ඇතැම්විට යාපහුව බලකොටුව ඉදිකිරිමේ දී අග්නිදිග ආසියාතික බලකොටු තාක්ෂණය බලපාන්නට ඇත. සීගිරිය බලකොටු නගරයෙහි ප‍්‍රධාන දොරටු තුනක් තිබිණි. එයින් ප‍්‍රධාන දොරටුව බටහිර දෙසින් වු අතර යුරෝපයේ කාසල් බලකොටු (Castles) මෙන් හැකිලිය හැකි පාලමකින් (Drawbridge) නිර්මිත විය. සෙසු උතුරින් සහ දකුණින් පිහිට් දොරටු ද ගඩොලින් නිමවා හැකිලිය හැකි යකඩ දොරවල්වලින් සකසා තිබිණ. සීගිරි බලකොටු නගර නිර්මාණයෙ දී සුදු කන්ද, ඇලහැර, කණ්ඩලම, රිටිගල, දඹුල්ල යන කදුවලින් මෙන්ම පිදුරංගල, මාපාගල යනාදී බැලුම්ගල්වලින් ද ස්වභාවික ආරක්ෂාව ලබාගෙන තිබේ (අමරසිංහ 2005:31). මීට අමතරව සිංහ සෝපානය සහිත පර්වත මස්තක රාජමාළිඟාව ඈතින් පෙනෙන සතුරෙකුට කිසියම් බියක් ගෙනදෙන ආකාරයට සැලසුම් සහගතව නිමකරන්නට ඇත.

ශ‍්‍රී ජයවර්ධනපුර කෝටිටෙි බලකොටුව (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

ක‍්‍රිස්තු වර්ෂ 15 වන සියවසේ දී ලාංකීකයන් ඉදිකළ තවත් ප‍්‍රබල බලකොටුවක් වන්නේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ය. මඩ ගොහොරු සහිත වු නිසා ද උතුරු, බටහිර, සහ නැගෙනහිර දිශාවන්ගෙන් වක‍්‍රව ගලන දියවන්නා ඔයෙන් වට වීම නිසා කෝට්ටේ බලකොටු භූමිය වු දාරු ග‍්‍රාමයට ඇතුළු විය යුත්තේ දකුණේ පිහිටි කුඩා පටු බිම් තීරුවකිනි. නිශ්ශංක අලගක්කෝනාර විසින් දාරු ග‍්‍රාමය වටා ගැඹුරු දිය අඟලක් සහ කළු ගල් ප‍්‍රාකාරයක් සකසන ලදී. නිම්නයට ප‍්‍රවේෂ වන පටු භූමිය ද වටකොට ප‍්‍රාකාර ඉදි කෙරිණ. තව ද ප‍්‍රාකාර බැම්මේ ඉවුරු දෙක අතර අඩි දහයක් පමණ නිසා එම ප‍්‍රදේශයේ මුර සෙබලුන්ට මුර සංචාර කළ හැකි විය. පවුරු පිටත වේදිකාවේ ආරක්ෂාව වර්ධනය කරමින් මුර අට්ටාල, යකඩ කුරූ (ඉදංගනී), බොරුවලවල් (වට්ට වෙට්ට), ලී උල් (මරාල) සහ කොටි මුුහුණක ආකාරයෙන් යුත් උගුල් (පුලිමුඛම්) සකසා තිබු බව නිකාය සංග‍්‍රහය උපුටා දක්වන ඉන්ද්‍රකිර්තී සිරිවීර පෙන්වා දෙයි (සිරිවීර 2013:84). පෙර දක්වන ලද බලකොටු ආරක්ෂක විධික‍්‍රම බොහෝමයක වචන දෙමළ සහ මලයාලම් පදවලින් නිෂ්පන්න වු ඒවා වෙති. එසේම කෝට්ටේ (දෙමළ කොට්ටි) බලකොටු තාක්ෂණය ද්‍රවිඩ සම්භවයක් සහිත පෙළපතකින් එන අලගක්කෝනාර ස්වකීය මුතුන්මිත්තන් සිටී මුල් භූමියෙන් රැගෙන එන්නට ඇතැයි සැලකීම සාධාරණ ය. බලකොටු ආරක්ෂණ විධික‍්‍රමවලට අමතරව ඒවා තුළ සිටින සෙබලුන් සහ ජනතාවගේ චිත්ත ධෛර්ය වර්ධනය කරනු පිණිස සහ ඇඳහිලි කිරීම පිණිස කුඩා ආගමික ස්ථාන ඉදිකෙරිණ. නිදසුන් ලෙස ක‍්‍රිස්තු පූර්ව 4වන සියවසේ දී පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර බලකොටු නගර අවට දිශාවන්හි චිත්ත රාජ, කාලවේල, වලවාමුඛි, පශ්චිම රාජිනි වැනි ස්වදේශීක අධිභෞතික චරිත ඇදහීමට දේවාල සැකසු අතර, කෝට්ටේ බලකොටු ඉදිකළ අයවලුන් විසින් බලකොටුව තුළ විභිෂණ, සමන්, ස්කන්ධ, උපුල්වන් යන ප‍්‍රචලිත දෙවිවරු ඇදහීමට කුඩා පූජනීය ස්ථාන ඉදිකරවන ලදී. ඒවායේ භාරකරුවන්ට නිරතුරුවම ආගමික වතාවත් කරවන ලෙස අධිපතිවරු නියම කළ බව කෝට්ටේ බලකොටුව පිළිබඳව තොරතුරු වාර්තා කරන නිකාය සංග‍්‍රහය පෙන්වාදෙන්නේ මෙපරිද්දෙනි.

“…පවුර මුදුනෙහි සතර දිග ආරක්ෂා පිණිස සිරිලක අරක්ගත් කිහිරැලි උපුල්වන්, සමන් බොක්සැල්, විභිෂණ, ස්කන්ධ කුමාර යන සතරවරම් මහරජුනට වෙන වෙනම දේවස්ථාන කරවා අනෙක ප‍්‍රකාර භේරි, තූර්ය, නෘත්‍ය, ගීත වෘත්තාදියෙන් නිරන්තර පුජෝත්සව පවත්වන සේ ව්‍යවස්ථා කරවා…” (නිකාය සංග‍්‍රහය 1997:32)

යාපහුව බලකොටුව (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

මීට අමතරව බලකොටු සුරක්ෂිත කිරිමට නිලබල ක‍්‍රමයක් ද පුරාතන ලංකාවේ පැවති බව පෙනේ. බලකොටු, බලකොටු නගර ආරක්ෂා කිරීමට නූතන නගරාධිපතිවරුන්ට තරමක් සමාන නගර ගුත්තික නම් තනතුරක් පැවති බව වංශ කථාවල සඳහන් වෙයි. නිදසුන් ලෙස පණ්ඩුකාභය රජතුමා ස්වකීය මාමා වු නගර ගුත්තික නම් තනතුරක් ප‍්‍රධානය කොට දිවා කාලයේ සහ විශේෂයෙන් රාත‍්‍රී කාලයේ දී නගරය ආරක්ෂාව ඔහු වෙත පවරන ලදී. නගර දොරටු වැසීම, ගෝපුර, මුර අට්ටාලවල සෙබලුන් පරීක්ෂා කිරීම, නගරාරක්ෂක බලකොටු (Garrision), මුර අට්ටාල, ගෝපුර, ප‍්‍රාකාර අලුත්වැඩියා කොට දියඅඟල් පිරිසිදු කිරීම සහ මළමිනි නගර ප‍්‍රාකාරයෙන් පිටත පිහිටි සොහොනට ගෙන යාමට කසල ශෝධකයින් (Cleaners) සහ සොහොන් පල්ලන් (Undertakers) මෙහෙයවීම යනාදිය නගර ගුත්තික අතින් ඉටුවන්නට ඇත. මහනුවර යුගයේ දී රජ මාළිඟාව සහ නගරය ආරක්ෂා කිරීම සඳහා අතපත්තුවේ කාර්යංශය සහ මඩුවේ කාර්යංශය යන සේනාංක දෙකට පවරා තිබිණි (හේරත් 2016:59). පරාක‍්‍රමබාහු රජතුමාගේ යුද්ධ සෙනෙවියන් අතර මායාගෙයිනාථ හෙවත් මායා රටේ පාලකයාගේ බලකොටුව හෝ රජ මාළිඟාවේ ආරක්ෂාව භාර නිළධාරියෙකු ද සිටි බව පෙනේ. බලකොටු දොරටු ආරක්ෂා කිරීම දේවාරික නම් ආරක්ෂක නිළධාරි පිරිසක් ද සේවය කළහ. රාජකීය මාළිඟාව, ප‍්‍රභූ නිවාස, අන්තඃපුර, ආරක්ෂාවට කුලීන නිර්භීත, සෙබලු මෙන්ම නපුංසක සෙබලු සහ කාන්තා ආරක්ෂක නිළධාරීන් සේවය කළ බවට සාධක ඇත. මහනුවර යුගයේ සිටි දුක්ගන්නාරාළ, දුක්ගන්නා උන්නැන්සේලා, සැතපෙන ගෙයි අප්පුලා වැනි නිළධාරින් මේ සඳහා පෙන්වාදිය හැකි කදිම නිදසුන් ය. වාසල මුකංවිට්ට්, වාසල මුදලිවරු, වාසල මුහම්දිරම්වරු, වාසල ඒකනායක වැනි රජමාළිඟාවේ ආරක්ෂාවට සිටි අවශේෂ නිළධාරින්ය (විමලකිර්ති 1947:175). මහනුවර යුගයේ දී මොවුන්ගේ කාර්යභාරය වු මහාවාසල මුර කිරීම, සෙබලු මෙහෙයවීම යනාදියට සීමා විය. තව ද රාජ ද්‍රෝහී කුමන්ත‍්‍රණකරුවන් සහ අකාර්යක්ෂම සෙබලුන් සහ නිළධාරින් සොයා බලා වාර්තා කිරීමටත්, අත්තඩංගුවට ගැනීමට බලකොටු නගර ආශ‍්‍රීතව විධිමත් ඔත්තු සේවයක් පැවති බවට සාක්ෂි ඇත (හේරත් 2016:71). මහනුවර නගරයට පිවිසිය හැකි සෑම මාර්ගයකම කඩවත් මුරපොළවල් ගොඩනගා තිබිණි. ඒවායේ ඉහළ පහළට වැසිය හැකි කටු දොරවලින් සමන්විත විය. මේවායේ සේවය කළ අයවලුන් කටුපුරුල්ලේවරු නම් විය. මෙම මුර පොළවල් (Outpost) හරහා යාමේ දී නූතන පාස්පෝට්වලට සමාන මුද්‍රා විශේෂයක් භාවිත කරන ලදී. එම මුද්‍රාව ජාති, පන්ති, වෘත්තීන්වලට අයත් ජනතාවට අනුව වෙනස් වු බව රොබට් නොක්ස් පවසයි (එදා හෙළදිව 1992:81). පෙර සඳහන් කළ බලකොටු රැක ගැනීමේ ක‍්‍රමවේදවලට උම්මග්ග ජාතකයේ සඳහන් යුධ උපක‍්‍රම ද එකතු කළ හැක. උම්මග්ග ජාතකයේ සඳහන් බලකොටු රැකගැනීමේ යුධ උපක‍්‍රම වන්නේ මියුලු නුවර ආක‍්‍රමණය කිරීමට සැරසෙන බ‍්‍රහ්මදත්ත රජුගේ සතුරු සේනාවට වැලි ගසා පසව ප‍්‍රාකාරවල සිට ඊ හෙළි ප‍්‍රහාර එල්ලකොට මර්ධනය කිරීම වැදගත් ය. නගර ප‍්‍රාකාරවල සිට රසවත් ආහාරපාන භුක්ති විඳිමින් ගී ගයමින් සැණකෙළි පවත්වමින් කිපෙන සුලු විකාර කථා පවත්වමින් සතුරාගේ යුධකාමී මනස දුර්වල කිරීම හෝ සංග‍්‍රාම පීඩනය (Combat stress) ඇතිවන ආකාරයට කටයුතු කිරීම ද තවත් බලකොටු ආරක්ෂණ යුධ උපක‍්‍රමයකි. පෙර සඳහන් කළ උපක‍්‍රම මධ්‍ යකාලීන යුගයේ දී භාවිත කළ බව උම්මග්ග ජාතකයේ පහත දැක්වෙන ප‍්‍රකාශනයෙන් පැහැදිලි වෙයි.

“…ඒ බස් අසා බලසම්පන්න යෝධයෝ නොයෙක් ආයුධ ගත් අත් ඇති වර නුවර ගනුම් හයි පවුරු වාසල් සමීපයට ගියාහු බෝධී සත්වයන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද කලල් වැලි ආදීයෙන් මහා විනාශයට පැමිණිද නුවර බිඳිනා තබා පුර සමීපයටත් යා නොහී නැවත යන්නාහ. බදින් සමහර කෙනෙක් නොනැවතී, පවුර බිඳුම් හයි වාසි කියා සාහසිකව වැ ඊ දඬු මුණ කොහොල් තොමර හෙණ්ඩි වාලාදීන් දමා ගසා මහා විනාශයට පමුණුවන්නාහ. බෝධී සත්වයන් වහන්සේගේ යෝධයන් බ‍්‍රහ්ම දත්තයන්ගේ යෝධයන්ට අතින් මුහුණන උසුළු පෑ නොයෙක් ප‍්‍රාකාරයෙන් අක්‍රෝෂ පරිභව බෙනෙමින් ගැහැට කරන්නාහ. මච්ච මාංස හා කන බොන දෑ හා රා විත් ඔඩම් යනාදිය පුරා ගෙන පිටත සිටිය වුනට දික්කර පුළු ගන්වා නැවත තුමු වැ කන්නාහ. බොන්නාහ. මෙසේ සතුරන් කිපෙන සුලු වු නොයෙක් විකාර කරමින් පවුරින් ඇතුලේ පදනමැ උනට පෙනෙන නියායෙන් සක්මන් කරන්නාහ” (උම්මග්ග ජාතකය 2001:112)

මහනුවර බලකොටු නගරය (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් උපක‍්‍රමශිලීව සතුරු සෙනා නොමග යවා ඔවුන් චණ්ඩ කිඹුලන් සහ මෝරුන් පිරි දිය අගල්වලට යොමු කිරීමේ යුධ අපක‍්‍රමයක් ද උම්මග්ග ජාතකයේ අන්තර්ගත ය. ක‍්‍රිස්තු වර්ෂ 11 සියවෙස් දී පළමු වන විජයබාහු රජතුමා චෝලයන්ගෙන් පොළොන්නරු නගරය අල්වා ගැනීම සඳහා සිදු කළ දීර්ඝ වැටලීමේ දී රවි දේව, චල නම් ඔත්තුකරුවන් දෙදෙනෙකු යොදවා නගරයේ දොරටු ඇර තිබේ (මහාවංශය 58:පරි 56:58 ගාථා). බලකොටුවක්, බලකොටු නගරයක් හා කඳවුරක් ඉදිකිරිමේ දී භූගෝලීය සහ දේශපාලන කරුණු මෙන්ම සංස්කෘතික කරුණු ද බලපා තිබේ. එනම් බලකොටු නගර ඉදිකිරිමේ දී ඒවාට නම් ලෙස පුලස්ථිපුරය, ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, සෙංකඩගල නුවර වැනි මනා පෞර්ෂයක් ගෙන එන නම් යොදා තිබේ. එසේම ආරක්ෂක නිවස්න නැකැත්වලට අනුව ද නිමවා තිබෙන බව අනුර නැකතකින් අනුරාධපුරය ඉදිකිරිමෙන් පැහැදිලි වෙයි. සෙංකඩගල ශී‍්‍ර ජයවර්ධනපුරය ගොඩනැංවුණු භූමිය හා සබැඳි බොහෝ ජනප‍්‍රවාද වලින් ද පෙන්වාදෙන්නේ එය පීඩිතයන්ට ජයක්, අහිංසකයාට නිවහනක් සපයන්නක් මෙන්ම ක්ෂේම භූමියක් හෝ විජය භූමියක් ලෙසය (හේරත් 2016:34). සම කාලීන පාලකයාගේ හෝ බලකොටු නිර්මාතෘවරයාගේ හෝ ආගමික නායකයෙකුගේ නමකින් බලකොටු හඳුන්වා දුන් බව ද පෙනෙයි. මෙම නාමකරණයන්ගෙන් ද පැහැදිලි වන්නේ මනා පෞර්ෂයක් සහිත නාමයකින් සතුරා බියක්, කුකුසක්, සැකයක් ඇතිවන ආකාරයට බලකොටු හැඳින් වූ බවයි. මෙම සියලු කරුණු සමාලෝචනය කර බැලීමෙන් පෙනී යන්නේ යුරෝපීයයන් අාගමනයට පෙර ශී‍්‍ර ලාංකීකයන් සතුව දියුණු බලකොටු හා බැඳුණු ආරක්ෂණ ක‍්‍රමවේද පැවති බවට ෙපන්වා දිය හැකි ෙව්.

ආශී‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

  • මහාවංසය (1996), හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි හා දේවරක්ෂිත පඬිතුමා සංස්. කොළඹ, ජතික කෞතුකාගාර දේපාර්තමේන්තුව.
  • කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය (2003), පරි. හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, කොළඹ, එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • නිකාය සංග‍්‍රහය (1997), කුමාරතුංග මුනිදාස, සංස්. කොළඹ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල ථූපවංශය (1959), රංජිත් වනරත්න, සංස්. කොළඹ, සමයවර්ධන සහ සමාගම.
  • උම්මග්ග ජාතකය (2001), රංජිත් වනරත්න, සංස්. කොළඹ, සමයවර්ධන සහ සමාගම.
  • කුලතුංග, ටී.පී. (1988), මධ්‍යකාලීන ලංකාවේ ආරක්ෂක සංවිධාන, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • හේරත් ඉසුරු (2016), කන්ද උඩරට ගරිල්ලා යුධ උපක‍්‍රම, ජා ඇළ, සමන්ති ප‍්‍රකාශකයෝ.
  • අමරසිංහ, මාලිංග (2005), පුරාණ ලක්දිව රජමාළිගා, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • බෂාම්, ඒ.ඇල්. (1962), අසිරිමත් ඉන්දියාව, කොළඹ, අධ්‍යාපන ප‍්‍රකාශන දේපාර්තමේන්තුව.
  • ගයිගර්, විල්හෙලම් (1969), මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය, කොළඹ, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම.
  • විජයවර්ධන, කුසුම්සිරි (2011), යාපහුව පුරාණ රාජධානිය, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • පරණවිතාන, සෙනරත් (2014), පුරාවිදු පර්යේෂණ, බොරලැස්ගමුව, විසිදුණු ප‍්‍රකාශකයෝ.
  • සිරිවීර, ඉන්ද්‍රකිර්තී (2019), ඉතිහාස තරංග, වරකාපොළ, ආරිය ප‍්‍රකාශකයෝ.
  • මේධානන්ද, එල්ලාවල හිමි (2002), සිංහලයේ විමුක්තිදායකයා, දුටුගැමුණු මහරජතුමා, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • දේවරාජ, ලෝනා (1997), කන්ද උඩරට රාජධානිය, කොළඹ, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව.
  • දේවේන්ද්‍ර, ඞී.ටී. (1970), සඳකඩ පහන සහ වෙනත් ලිපි, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • මැද උයන්ගොඩ, විමලකිර්තී හිමි (1949), සිංහල ආණ්ඩුව, කොළඹ, අනුලා මුද්‍රණාලය,.
  • හේරත්, ඉසුරු (2016, රෝම අධිරාජ්‍යයේ ප‍්‍රබවය, ජා ඇළ, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ.
  • ආරියපාල ඇම්.බී. (2014), මධ්‍යකාලීන ලංකා සමාජය, කොළඹ, අධ්‍යාපන ප‍්‍රකාශන දේපාර්තමේන්තුව.
  • ලියනගමගේ, අමරදාස හා රණවීර ගුණවර්ධන (2014), අනුරාධපුර යුගය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
  • නෙල්සන්, ඩබ්ලිව්.ඒ. (2011), ශී‍්‍ර ලංකාවේ ලන්දේසි බලකොටු, කොළඹ, සුරිය ප‍්‍රකාශකයෝ.
  • Siriweera, W.I. & Sanath Silva (2017), Warfare in Sri Lanka, Colombo, Sarasavi publishers.
  • Oppert, G. (1972), on the weapons,A rmy organization and political maxims of antient Hindus, Madras, Madras University press.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.08.15 වැනි දින  www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here