archaeology.lk සමාජ ‌මෙහෙවරක් : වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා උපාධිධාරියා සඳහා වූ ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම 2018

පසුගිය වසර නමයක කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම හා තොරතුරු සිංහල හා ඉංග‍්‍රීසි යන දෙ බසින් විශ්වව්‍යාප්තගත කරමින් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කළ ලංකාවේ ප‍්‍රමුඛතම වෙබ් සමූහය වන ජාතික හා ජාත්‍යන්තර සම්මාණලාභිි archaeology.lk කණ්ඩායම අට වැනි සත්වත්සරය සමරමින්  2017 වසරේ සිට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ දක්‍ෂතම විද්‍යාර්ථියාගේ සාමාර්ථ්‍ය ඇඟයීම සඳහා රන් පදක්කමක් පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇත. ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව උදෙසා විශිෂ්ඨ සම්ප‍්‍රදානයක් සිදු කළ විශිෂ්ට විද්වතුන් ‌දෙපළක් වූ අාචාර්ය පෝල් එඩ්වවර්ඞ් පීරිස් දැරණියගල හා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල යන පිය-පුතු විද්වතුන් දෙපලගෙන් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්තතිය හා ප‍්‍රගමනය උදෙසා සිදු වූ අමරණීය සේවය ස්මරණය කරමින් ‌මෙම රන්පදක්කමක් පිරිනමනු ලබයි.

2018 මැයි 30 වැනි දින මිහින්තලේ, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානොත්සව ශාලාවේ දී පවත්වන ලද උපාධි ප‍්‍රදානෝත්සවයේ දී මෙම වසරේ දක්‍ෂතම ශිෂ්‍යාට හිමි ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම ශාලිකා කුරුණායක මෙනවිය විසින් හිමිකර ගැනීමට සමත් විය.

ශාලිකා කුරුණායක මෙනවියට archaeology.lk කණ්ඩායමේ උණුසුම් සුභපැතුම් පළ කරමු.

ශාලිකා කුරුණායක

කුරුණෑගල, අලව්ව, ගොරොක්ගස්දෙණිය ග‍්‍රාමයේ සරත් කුරුණායක මහතා හා කේ.සී.ඒ. කරුණාවතී කරුණාරත්න මහත්මිය දෙපලගේ දියණිය වශයෙන් උපත ලැබූ ශාලිකා, ගාල්ල අහංගම ධර්මාරාම ආදර්ශ කණිටු විදුහලේ ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා අලව්ව රතනාලංකාර මහා විද්‍යාලය හා නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ද අධ්‍යාපනය ලබමින් අ.පො.ස උසස්පෙළ විභාගයෙන් සමත්ව 2012 වර්ෂයේ ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ විය. එහි සමාජීයවිද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යන අංශයේ පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණය විශේෂ උපාධිය සාර්ථකව හදාරා 2017 වර්ෂයේ පළමු පෙළ පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට සමත් විය. 2018 වර්ෂ‌ෙයේ දක්ෂතම පුරාවිද්‍යා විද්‍යාර්ථියාට හිමි ආචාර්ය පෝල් ඊ.පී දැරණියගල හා ආචාර්ය සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුණතා රන් පදක්කම හා සහතික පත‍්‍රය ලබා ගැනීමට සමත් විය. විශ්වවිද්‍යාලයෙන් පිට විමෙන් අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුහුණු වන පර්යේෂණ නිළධාරිණියක ලෙස සේවය කරන ලද ශාලිකා මේ වන විට ශී‍්‍ර ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණ අධ්‍යන අංශයේ තාවකාලික කථිකාචාර්යවරියක ලෙස සේවය කරනු ලබයි.

ශාලිකා කුරුණායක ‌මෙනවිය ආචාර්ය පෝල් ඊ.පී දැරණියගල හා ආචාර්ය සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුණතා රන් පදක්කම හා සහතික පත‍්‍රය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහත‌ාා ‌වෙතින් ලබා ගන්නා අවස්ථාව දැක්වෙන විඩීයෝව පහතින් දක්වා ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here