31 C
Colombo
Friday, May 7, 2021

37. බලංගොඩ මිනිසාගේ අභිචාර හා කලාව

Must read

Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
බලංගොඩ මිනිසා කොච්චර රසවතෙක්ද, ඒ කියන්නේ කලාව ගැන තිබුණු උනන්දුවයි මරණයෙන් පස්සේ දේවල් ගැන හිතපු විදිහයි ගැන සුළුවෙන් ලියන්නයි මේ සටහන වෙන් වෙන්නේ.
එක විදිහටකට බැලුවහම මරණයෙන් පස්සේ දේවල් ගැනයි අධිස්වාභාවික දේවල් ගැනයි හිතල කරන දේවලට අභිචාර කියන්නත් පුළුවන්. බලංගොඩ මානවයත් අපිට තේරුම් ගන්න බැරි දේවල් කළ බව පේනවා. බලංගොඩ මානව ජනාවාසවලින් රතු නැත්නම් කහ හිරියල් උරච්චි කරල ගෑව මිනිස් ඇටකටු හමුවෙලා. බටදොඹලෙන අවුරුදු 31,000ක් පරණ පස් තට්ටුවෙන් කහපාට ගුරුගල් ආලේප කළ මිනිස් කොදු ඇටයක් හා අවුරුදු 7,700 පමණ පැරණි පස් තට්ටුවෙන් ගුරුගල් පාට ගෑව මිනිස් දත් ලැබිල තියෙනවා. ෆා-හියන් ලෙනේ අවුරුදු 5,400ක් පරණ පස් තට්ටුවෙන් රතු ගුරුගල් ගෑව ඇට කෑලිත් හමුවෙලා. ඒ විතරක් ද රාවණා ඇල්ල ගුහාවෙන් හිස් මුදුන හිල් කරල පැත්තකින් සියුම් සිදුරකුත් විදල ගුරුගල් ගෑව හිස් කබල හරිම වැදගත්. මේ ගැන පුරාවිද්යාඥයෝ විවිධ කතා කියනවා. අත්තනගල්ල පොත්ගුල් ලෙනේ ඉහළ මට්ටමේ අවුල් පස්තට්ටුවකින් හමුවුණු ගුරුගල් පාට ගෑව ඔලුකටු කෑල්ලත් වැදගත්. මේ විදිහට තෝරාගත් අස්ථිවල විතරයි පාට ගාල තියෙන්නේ. වැද්දෝ නැත්නම් සිංහලයෝ අතර මෙහෙම සිරිතක් දැන් නෑ. ඉස්සර තිබ්බ බවට සාධකත් නැහැ. මේ බලංගොඩ මානවයට සීමාවුණු පුරුද්දක් බවයි පේන්නේ. හැබැයි බලංගොඩ මිනිසා මොන අදහසකින් මේ දේ කළාද කියල තාම අදහසක් නැහැ.
ඒ වගේම බලංගොඩ මිනිසා තමන්ගේ සඟයන්ගේ සිරුරු භූමිදාන කරන විට බොහෝවිට හිස යොමුකරල තියෙන්නේ බටහිර දිසාවට. අදත් අපි ඒ විදිහටම කරනවා. ඉර බැහැගෙන යනව වගේ ජීවිතය ගෙවිල යනව කියන අදහසින් එහෙම කරාද දන්නේ නැහැ. අම්මගේ බඩේ ඉන්න ආකාරයට ඒ සිරුර හකුළලයි තියෙන්නෙත්. මේ ගැන සමහර අය ලොකු අර්ථකතන දුන්නත් පොළොව හාරන්න අමාරු නිසා පොඩි වළට හකුලවපු මෘතදේහය දාන්න ඇතියි කියන එකයි මේ ලේඛකයාගේ අදහස.
මිනිස්සු වින්දනයට නැත්නම් මොළයේ ඇතිවන වර්ධනයේ ඵලයක් විදිහට කලාව ගැන උනන්දු වෙනවා. ඉහළ පුරාශිලා යුගයේ දි ලෝකයේ වෙනත් තැන්වල ඉදපු මිනිස්සු කලාව සම්බන්ධයෙන් අත්කරගෙන තියෙන වර්ධනය පෙන්වන නිදසුන් බොහොමයි. අවුරුදු 20,000ක් විතර පරණ දකුණු ප්රංශයේ ලැස්කෝස් ගුහා වගේම අවුරුදු 34,000-12,000 කාලයට අයිති උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවල තියෙන සත්ව රූප මේ සඳහා හොඳම උදාහරණ. පුරාවිද්යා කැනීම්වලින් හමුවුණු පැස්බර බිත්තර කටුවල ඇඳල තියෙන සැරසිලි වගේම මවුදෙවඟන කියල හිතන මැටි කාන්තා රූපත් ඉහළ පුරාශිලා යුගයේ මිනිසුන්ගේ කලා හැකියාව පෙන්නනවා. කාලය අනුව ගත්තහම මේ නිර්මාණ ලංකාවේ මධ්යශිලා යුගයටයි සමාන්තර.
ඕසටේර්ලියානු ජාතික විශ්වවිද්යාලයේ දර්ශනසූරි උපාධියට ඉදිරිපත් කළ Prehistoric Sri Lanka: Late Pleistocene Rockshelters and an Open-Air Site කියන නිබන්ධයේ බලංගොඩ මිනිසාගේ සමාජ පුරාවිද්යාව ගැන ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා දක්වල තියෙනවා. ඒ වගේම ප්රවීන සත්ව විද්යාඥ කැළුම් මනමේන්ද්ර-ආරච්චි මැතිතුමාත් මේ ගැන විස්තර පළකරල තියෙනවා. මේ සටහනේ තියෙන බොහෝ විස්තර ඒ මූලාශ්රයවලින් ගත්ත ඒව.
බලංගොඩ මිනිසා හදපු අපූරු නිර්මාණ කීපයක් ගැනම තොරතුරු ගල්ලෙන් කැනීම්වලින් හමුවෙලා තියෙනවා. හැබැයි ඒ සේරම පබළු විතරයි, වෙනත් කලා නිර්මාණ කියල හිතන්න පුළුවන් දේවල් නැති තරම්.
බටදොඹලෙන දළ වශයෙන් අවුරුදු 28,500ක් විතර පරණ පස් තට්ටුවෙන් හමුවුණු බෙලිකටු පබළුව ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයෙන් හමුවන පැරණිම පළඳනාව විදිහට සැලකෙනවා. තනි කට්ටක් තියෙන මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කෙලවර කොටසකින් ක්රමවත්ව ඉවත් කළ වටකුරු කටු කෑල්ලකින් මේ පබළුව හදල තියෙන්නේ. මිලිමීටර් 13.7×15.3×1.5 ප්රමාණයේ මේ පබළුව දුඹුරු රතුවන් පාටයි. දෙපසින්ම සියුම්ව විදලයි මැද සිදුර හදල තියෙන්නේ. මේවා ඉන්දියාව වගේම වෙනත් රටවලින් ලැබෙන මධ්යශිලා පබළුවලට වඩා පරණයි. කිතුල්ගල බෙලිලෙනින් බැරල් හැඩයේ අස්ථි පබළුවක් ලැබිල තියෙනවා ඇත.
බටදොඹලෙන වසර 16,000-14,300 කාලෙට අයිති පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් මුහුදු බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු මිලිමීටර් 8.2×6.3×0.6 ප්රමාණයෙ ඕවලාකාර පබළුවත් ලස්සන නිර්මාණයක්. මෙය ලා රෝස මිශ්ර රිදිවන් අළු පැහැතියි. ඒ පළඳනාවේ එක් පැත්තක දාරයේ සියුම් දැති ආකාර රටාවක් කපල තියෙන්නේ ලස්සන වැඩි වෙන්න කියලයි හිතන්නේ. මෙහි මැදත් සියුම් සිදුරක් සකසල තියෙනවා. ඒ පස් පස් තට්ටුවෙන්ම ලැබුණු අනෙක් පළදනාව තනි කටුවේ මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් හදල තියෙනවා. හැඩයෙන් ඕවලාකාර ලා කහ පාට මේකේ ප්රමාණය මිලිමීටර් 8.7×7.7×1.5ක්. පිට දාරය සියුම් විදිහට හදල මැද සියුම් සිදුරක් විදල තියෙනවා. බටදොඹලෙනේම දළ වශයෙන් අවුරුදු 13,500 කාලේ පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු පබළුව තරමක් දුරට ත්රිකෝණ හැඩය එන විදිහට අතුල්ලා හදග තියෙන්නේ. කෙළවරක සියුම් සිදුරක් විදල. උපරීම උස මිලිමීටර් 16.9ක් හා පළල හා ඝණකම මිලිමීටර් 10.0×0.6ක් වන මෙය අළු පැහැතියි.
ෆා-හියන් ලෙනේ මිශ්ර පස් තට්ටුවකින් ලැබිල තියෙන මුහුදේ ඉන්න කොටි මෝර දතකින් හදපු ගෙල පළඳනාව බලංගොඩ මිනිසාගේ තවත් වැදගත් නිමැවුමක්. දතේ පහළ දෙපසින්ම විදල පළදනාවක් විදිහට හදලා. අත්තනගල්ල පොත්ගුල්ලෙන කැනීමේදිත් මේ වගේ නිර්මාණ කීපයක්ම ලැබිල තියෙනවා. මෙතැනත් කොටි මෝර දතකින් හදපු ගෙල පළදනාවක් වගේම මුහුදු බෙලිකට්ටකින් හදපු කොටු හැඩයේ පළදනාවකුත් ලැබුනා. පස්සේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා කළ අළුගල්ගේ කැනීමෙනුත් මොර දත් පළඳනාවක් ලැබිල තියෙනවා. සත්ව විද්යාඥයෝ කියන විදිහට මේ කොටි මෝරාගේ දත් හොයාගන්න එක ලෙහෙසිපහසු නැහැ. ගැඹුරු මුහුදේ ඉන්න මේ මාළුවා මියගියහම මුහුදේ ගිලෙනවා මිසක් ගොඩබිමට ගසාගෙන එන් නැහැ කියනවා. ඉතිං අදින් අවුරුදු දහපහළොස් දහසකට කළින් අපේ් මිනිස්සු මේ දත් ගෙනල්ල බෙල්ලේ එල්ල ගත්ත කියන්නේම අපි තාම දන් නැති අසිරිමත් කතාවක්. මේ වගේ දේවල් පිටරටක තිබුණනම් ඩිස්කවරි වගේ චැනල්වල ලෝකෙටම පෙන්නනන්න ලස්සන වාර්තා වැඩසටහන් හදයි. අපිට එහෙම බැරිවෙලා තියෙන නිසයි යම් යම් අය මේවට වැරදි, අභව්ය අර්ථකථන දෙන්න උත්සාහ දරන්නේ. මුහුදු බෙලිකටු ගැන බලංගොඩ මානවයා විශේෂ ඇල්මක් දක්වලා තියෙනවා. අපි කියල වෙනසකුත් නෑනේ. අපි මුහුදු වෙරළට ගියාම බෙලිකටු ඇහිදින්න ආසා කරන්නේ ඇයි. අපි බලංගොඩ මිනිසාගේ මී මුණුපුරේ නිසා එහෙම නොකාළොත් නොට්ටිගේ මී මුණුපුරෝ වෙයිනේ නේද?
කැනීම්වලින් හමුවන ගස් ගොළුබෙල්ලන්ගේ කටු, නූලක අමුණලා මාලයක් විදිහට පළදින්න ඇති කියලත් අදහසක් තියෙනවා. කැනීම්වලින් හමුවන බෙලිකටු බොහෝමයක සිදුරක් පැවතීමයි මේ අදහස ඉදිරිපත් වෙන්න හේතුව. වැසි වනාන්තරවල හා මිරිදියේ ඉන්න බෙල්ලන්ගේ කටු මේ අතර තියෙනවා. මිනිස්සු වැඩි කැමැත්තක් දක්වන්නේ දුර්ලභ සිත්ඇදගන්න දේවල් පළදින්නයි. විශේෂම හේතුවක් නැත්නම් ගස්ගොළුබෙල්ලෝ වගේ සුලභ දෙයක් ආභරණ විදිහට පැළඳුවා කියල හිතන්න අමාරුයි. බෙලිකටුවල ඇති මේ සිදුර හදල තියෙන්නේ කටුව ඇතුළේ තියෙන මස් එළියට ගන්න බවයි පේන්නේ. ආචාර්ය වසන්ත වැලිඅංග මැතිතුමා ඉදිරිපත් කළ බලංගොඩ මිනිසා බෙල්ලෝ අනුබව කිරිමේ කැමැත්තෙන් එක්රැස් කිරීම, ගෙනයාම හා ගබඩා කිරීමේ දී මේ සිදුර ඇතිවුණා කියන අදහස වඩාත් පිළිගන්න පුළුවන්.
ලංකාවේ ජ්යාමිතික ක්ෂුද්රශිලා මෙවළම් කලාත්මක ලක්ෂණයන්ගෙන් අනූනයි. කලා නිමැවුම් විදිහට කෙළින්ම හිතන්න බැරිවුනත් මේ ගල් මෙවළම් බලංගොඩ මිනිසාගේ කලාත්මක අදහස් වගේම නිර්මාණශීලීත්වය පෙන්නනවා. ‘බලංගොඩ උල් මෙවළම්’ ගත්තත් සියුම් හා ඉහළ නිර්මාණ ලක්ෂණ අනූනයි. මේ ගැන වෙනම සටහනක් ඇතිි මේ සටහන් පෙළේම.
ලංකාවේ තියෙන ගුහා සිතුවම් අතර තවම ප්රා ඓතිහාසික කාලෙට අයිතියි කියල නිශ්චිතවම කියන්න පුළුවන් සිතුවම් හමුවෙලා නැහැ. ඉතිං ඒ ගැන කියන්න තාම ඉක්මන් වැඩියි.
කොහොම නමුත් මේ කිවුව කරුණුත් එක්ක පේනවා බලංගොඩ මිනිසා කලාව ගැන ඉහළ රුචිකත්වයක් තිබුණු කෙනෙක් බව. මේ ආභරණ ගොඩාක් විට හදන්න පළඳින්න ඇත්තේ කාන්තාවෝ වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් ලොකෙන් ඉස්ඉස්සෙල්ලම ආභරණ පළඳින්න පුරුදු වුණු කාන්තාවෝ අතර අපේ කාන්තාවෝ පෙරමුණේ ඉන්නවා.
චන්දිම අඹන්වල
2020.04.25 / 03.15 PM
- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X