31 C
Colombo
Friday, May 7, 2021

32. බලංගොඩ මිනිසාගේ ජීවනෝපාය

Must read

Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
බලංගොඩ මිනිසා ජීවත් වුණු ආකාරය ගැනයි මේ සටහනින් කතා කරන්න යන්නේ. බලංගොඩ මානවයාගේ ආහාර රටාව ගැන තොරතුරු අතුරින් බොහෝමයක් පහතරට වියළි කලාපයේ පිහිටි පුරාවිද්යා ස්ථානවල හා තෙත් කලාපයේ ගල්ලෙන් තුළ සිදුකළ පුරාවිද්යා කැනීම් තුළින් හමු වෙලා තියෙන්නේ. බුලත්සිංහල ෆා-හියං ලෙන, කුරුවිට බටදොඹලෙන හා කිතුල්ගල බෙලිලෙන යන ගල්ලෙන් තුළ අවස්ථා කීපයක කළ පුරාවිද්යා කැනීම් මඟින් වැඩි සාධක ප්රමාණයක් හමු වෙලා තියෙනවා. එම සාධක පොදුවේ සලකා බැලුවහම, අතට අසුවන සෑම සතෙක්ම මධ්යශිලා යුගයේ දිවිගෙවු බලංගොඩ මානවයා ආහාර වශයෙන් යොදාගෙන තියෙන බව පේනවා. තවත් ආකාරයකට ගත්තොත්, ගෙවල ඉන්න බටු මීයාගේ ඉදල අලි පැටියා දක්වා පුළුල් පරාසයක සතුන් බලංගොඩ මානවයාගේ සත්ව ආහාර තුළ නියෝජනය වෙනවා. ප්රාග් ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට අවසානය දක්වා මෙම ආහාර රටාව කැපී පෙනෙන වෙනසක් වෙලා නැහැ.
බලංගොඩ මානවයා ආහාරට ගත්තු සතුන් අතර වැඩිපුර ඉන්නේ දඬුලේනා, මීමින්නා, ඉත්තෑවා, හම්බාවා, උරුළෑවා, කබල්ලෑවා හා වඳුරා වගේ සත්තු. මේ සත්තු ප්රමාණයෙන් කුඩා වීම වගේම අනික් ලොකු සතුන්ට වඩා පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් වීම තමා මේ වැඩිවීමට හේතුව. වල් ඌරා, ගෝනා වැනි මැදි පමනේ විශාල සතුන්ගේ නියෝජනය මුල් කොටසට වඩා අඩුයි. ගව වර්ගයට අයත් විශාල සතුන් ගේ නියෝජනය ඊටත් අඩුයි. ඒ කියන්නේ සත්තු ආහාරයට ගද්දි කැමැත්ත හෝ වෙනත් සංස්කෘතික හේතු නෙමෙයි බලපාල තියෙන්නේ. ඒ සත්තු අල්ලා ගැනීමේ පහසුව. බලංගොඩ මානවයා විසින් ආහාරයට ගනු ලැබූ සතුන් අතර අලි පැටව්, ගවරා, කුළු මිහරකා, කළු වලහා, ඌරා, ගෝනා, තිත් මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඬු ලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වඳුරා, වළි කුකුළා, හබන් කුකුළා, පිඹුරා, තලගොයා, ඉබ්බෝ වර්ග, පිඹුරා, ගැරඬියා වගේ සර්පයෝ, තිත්තයා, ලූලා වැනි මිරිදිය මාළු වර්ග, මිරිදිය කකුළුවෝ, ගොඩබ්ම් හා ගස් ගොළුබෙල්ලෝ වගේ සතුන් රාෂියකගේ සාධක තියෙනවා. අවුරුදු 45,000 විතර කාලේ ඉදල ක්රිස්තු පූර්ව 1,500 වගේ වෙනකල් තත්ත්වය ඕක තමා.
2005 දී විතර ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් බුලත්සිංහල ෆා-හියන් ලෙන කැනීම් කරා ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාගේ ප්රධානත්වයෙන්. ඒ කැනීමේ දී හමුවුණු සතුන්ගේ කොටස් බලංගොඩ මිනිසාගේ ආහාර රටාව අවබෝධ කරගන්න කදිම අවස්ථාවක්. මේ සාධක පුරාසත්ව විද්යාඥ ජූඩ් පෙරේරා මැතිතුමා විසින් විශ්ලේෂණය කරා. ඒ අනුව පහත දැක්වෙන සත්ව විශේෂ ඒ අතර ඉන්න බව හඳුනාගෙන තියෙනවා. කිරි බී වැඩෙන සත්තු විදිහට කුළු මී හරකා, ගෝන මුවා, ගෝනා, ඕලු මුවා, මීමින්නා, වල් ඌරා, අලියා, කොටියා හෙවත් දිවියා, හඳුන් දිවියා, කොළ දිවියා, උගුඩුවන්, හෝතබුවන් වගේ සත්තු ඉන්නවා. ඒ වගේම උරුලෑවා, නරියා, කොළ වඳුරා, රිලවා, උණහපුළුවා, කබල්ලෑවා, වල් හාවා, ඉත්තෑවා, දඬු ලේනා, මූකලන් ලේනා, ඌරු මීයා, වැලි මීයා හා ගෙවල මීයා කියන සතුන්ගේ අස්ථිත් හඳුනාගෙන තියෙනවා. කිඹුලා, තලගොයා, කබරගොයා, කටුස්සා, පිඹුරා, නිශ්චිතව හඳුනා නොගත් සර්පයෝ වශයෙන් උරග සාධකත් අන්තර්ගතයි. ගල් ඉබ්බා, කිරි ඉබ්බා හා ගෙම්බන් විශේෂ කීපයක් හඳුනාගෙන ඉන්නවා. අවශේෂ අනුව වලි කුකුළා හා නිශ්චිතව හඳුනාගත නොහැකි පක්ෂී විශේෂ ගණනාවක් වශයෙන් පක්ෂි නියෝජනයක් ද තියෙනවා. බලංගොඩ මිනිසා ආහාර සඳහා මිරිදිය හා කරදිය යන දෙ වර්ගයටම අයිති මාළු අල්ලලා තියෙනවා. මිරිදිය මතස්යයන් අතර ලෙහෙල්ලා, අංකුට්ටා, හුංගා, මුගුරා හා කණයා වගේ මාළුවොත් කරදිය මසුන් අතර කොටි මෝරා, අගුලවා හා තවත් හඳුනා නොගත් මසුන් වර්ග කීපයකම සාධකත් හමු වී ඇත. ඊට අමතරව ගොඩබිමේ හා වතුරේ ඉන්න බෙල්ලන් වර්ග දෙකම පිළිබඳවත් සාධක අඩුවක් නැහැ. ගොඩ බෙල්ලන් වශයෙන් Acavus superbus, Acavus phoenix, Acavus heamastoma, Acavus sp., මුක්කන් බෙල්ලා, Oligospira poleii, Cyclophorus sp., Aulopoma sp. හා Tortulosa sp. වර්ග දැකගත හැකි අතර දිය බෙල්ලන් අතර Paludomus neritoides, Paludomus loricatus, Paludomus sulcatus හා Pila sp. වැනි වර්ග නියෝජනය වේ. ඇත්තටම කිවුවොත් කාපු අය ගැන කියනවට වඩා ඔක්කොම සත්තු කෑවා කියන එක ලේසයි. ඒ කියන්නේ මේ හැම සතෙක්ගෙම ලේ අපේ ඇඟේ ඇති නේද?
ලංකාවේ මධ්යශිලා මානවයාගේ ශාක ආහාර ගැන විධිමත් සාධක පුරාවිද්යා කැනීම් තුළින් මේ දක්වා සොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඒත් ලංකාවේ වගේම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ ගැන කරපු මානවවංශ ගවේෂණ අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ශාක වර්ගයක්ම කෑමට ගත්ත කියන එකට සැකයක් නෑ. දික්කැකුණ ඇට, වල් දෙල්, කිතුල් හා ඇටි කෙහෙල් යන ඇට වර්ගත්, ගොනල, කටු අල හා බුත්සරණ වගේ අල වර්ගත් ඇටඹ, ලාවුළු හා තිඹිරි වැනි සුබුලු වර්ගත් කෑමට ගන්න ඇති. ආහාරය වශයෙන් ගත් මද වර්ග අතර බුළු හා මඩු තියෙන්න ඇති. ඊට අමතරව අපේ කැලෑවල තියෙන උගුරැස්ස, පළු, වීර, දිවුල්, වෙරළු, මොර, දොතළු, වරකා, ගල් සියඹලා, මොර, හිඹුටු, කොන්, කිරිල්ල, මාදන්, බුළු, කිරි කෝන් හා හීන් එරමිණියා වැනි පළතුරු වර්ගත, මී වගේ මල් වර්ගත් කෑමට නොගන්න විදිහක් නෑ. මේ සියලුම කාරණා බලද්දි අපේ මධ්යශිලා මානවයා නැත්නම් බලංගොඩ මිනිසාට තමන්ගේ ආහාර විදිහට සමබර ආහාර වේලක් ලැබෙන්න ඇති. දුක හිතෙන කාරණයකුත් තියෙනවා. මේ මිනිස්සු ගොඩාක් වෙලාවට බඩගින්නේ ඉන්නත් ඇති කෑම නැති නිසා. ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා කියන විදිහට ගොඩක්ම බඩගින්නේ ඉන්න ඇත්තේ කාන්තා පාර්ශවයයි, පොඩි දරුවනුයි. පිරිමින් දඩයමේ ගියාට පස්සේ බෙල්ලෝ වගේ දේවල් කාල තියෙන්නේ එයාලා. බෙල්ලො විතරක් කාල බඩ පුරවගන්න එක අමාරු දෙයක්.
බලංගොඩ මානවයාගේ දත් බලද්දි ඒවායේ සැලකිය යුතු ගෙවී යාමක් පේන්න තියෙනවා. මීට හොඳම සාධක බෙල්ලන්බැඳිපැලැස්ස හා බටදොඹලෙනින් ලැබිල තියෙනවා. මේ මිනිසුන්ගේ කෑම තුළ තදට වැලි මිශ්ර වෙලා තිබුණු නිසා ඒවාට මේ දත් ගෙවෙන්න ඇති කියලයි හිතන්නේ. ඇඹරුම් ගල් යොදාගෙන ශාක ආහාර අඹරද්දිත් ඒ කෑම වලට වැලි එක් වෙන්න ඇති. අල වර්ග කැවේ හොදලත් නෙමෙයිනේ. මස් වගේ දේවල් අමුවෙන් හපල කද්දි ඒවායේ තියෙන තදබවත් දත් ගෙවෙන්න අඩුවැඩි වශයෙන් හේතුවෙන්න ඇති. බලංගොඩ මානවයාගේ දත් ගැන බලපු ඩයනා හෝකි වගේ මානවවිද්යාඥයෝ කියල තියෙන්නේ මේ මිනිසුන්ගේ දත් රෝග අඩුයි කියලයි. ඒකට හේතුව වැද්දෝ වගේ බලංගොඩ මානවයත් ගස්වල පොතු වර්ග හපන්න හුරු වෙලා හිටීම කියලයි ඒයාලා කියන්නේ.
මේ සමඟ තියෙන රූපේ වම් පැත්තේ තියෙන බලංගොඩ මානවයාගේ සිතුවම ආචාර්ය පි.ඊ.පි. දැරණියගල මැතිතුමා ඇදපු එකක්. බෙල්ලන්බැඳිපැලැස්සෙන් හමුවුණු දත් ඇන්ද ගත්තේ කැළුම් මනමේන්ද්ර-ආරච්චි මැතිතුමාගෙන්.
චන්දිම අඹන්වල
2020.04.17 / 10.44 AM
- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X