24.9 C
Colombo
Thursday, May 13, 2021

26. ඉරණමඩු පාංශු සංකීර්ණය හා ලංකාවේ පුරාශිලා යුගය

Must read

Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
ලංකාවේ ප්රාග් ඉතිහාසය එහෙම නැත්නම් ලංකාවේ පැරණිම ජනාවාස ගැන කතාකරද්දි හම්බවෙන වැදගත් අංශයක් ගැන කතාකරන්නයි මේ සුදානම. ඒ ඉරණමඩු පාංශු සංකීර්ණය කියල හඳුන්වන ලංකාවේ වෙරළබඩ පැතිරිලා තියෙන පස් තට්ටුවක් ගැන. මේකට පුරාවිද්යාඥයෝ ‘ඉරණමඩු පාංශු සංකීර්ණය’ (Iranamadu Formation, IFm) කියල කීවත් සමහර භූ විද්යා ලිපිවල තියෙන්නේ ‘ඉරණමඩු ශ්රේණිය’ (Iranamadu Sequence) කියලයි. සමහර අය විනෝද චාරිකා යද්දි ගිහිල්ල ඇති බූන්දල, උස්සංගොඩ හරි කුදිරමලේ තුඩුවට හරි. ඒ තැන්වල තියෙන රතුපාට නැත්නම් ගුරුපාට පස් තට්ටුව ගැනයි මේ කතාව. මහාවංසයේ තියෙනවානේ විජය කුමාරයා මේ රටට ගොඩබැහැපු වෙලාවේ අත් දෙකේ පස් ගැවීලා තඹ පාට වුණු නිසා ‘තම්බපණ්ණි’ කියල තම තිබ්බා කියලා. ඉතිං මේ ගොඩබැසීම කරන්න ඇත්තේ කුදිරමලේ ආසන්න තැනකට වෙන්න ඕන කියන එකයි මේ ලේඛකයාගේ අදහස. විජය කුමාරයා ගොඩබහින්න ඇත්තේ මේ පස්තට්ටුවට. එකනේ වෙරළේ තිබුණු තඹ පාට අත්වල ගෑවුනා කියන්නේ.
සැලකිය යුතු ප්රදේශයක පැතිරිලා තියෙන මේ පස් තට්ටුව ගැන ඉස්ඉස්සෙල්ලම අවධානය යොමු කළේ ලංකාවේ හිටිය මුල් කාලීන භූ විද්යාඥයෙක් වුණු ඊ.ජේ. වේලන්ඩ් (E.J. Wayland) මැතිතුමා. මෙතුමා 1919 දි කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් පළ කළ Spolia Zeylanica සඟරාවේ XI කලාපයේ 41 වැනි කොටසේ ලිපියක් පළ කරල තියෙනවා outline of the Stone ages of Ceylon කියල. ඒ ලිපියේ මේ ගැන කියල තියෙනවා. මේ ලේඛකයාට දැනෙන විදිහට අපේ ප්රාග් ඉතිහාසය හිනිපෙත්තටම ඔසවල තිබ්බ ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමාට බොහෝම බලපාල තියෙනවා මේ වේලන්ඩ්ගේ වැඩ. මේ පස් තැම්පතුවට මේ නම තිබ්බෙත් වේලන්ඩ්ම තමා. මේ පස් තට්ටුව තියෙන්නේ ඉරණමඩුවල විතරක් නෙවි. පුරාවිද්යාවේ සම්ප්රදායක් තියෙනවා යමක් ඉස්සෙල්ලම හමුවුණ තැන අනුව නම තියන. බලංගොඩ මානවයා කියන්නේ බලංගොඩ විතරක් හිටපු කෙනෙක් නෙවෙයි. ලංකාව පුරාම ඉදල තියෙනවා. නමුත් ඉස්සෙල්ලම ලැබුණු තැන නම තමා තියල තියෙන්නේ. අර දැරණියගල මැතිතුමාගේ Prehistory of Sri Lanka කියන පොතේ මේ පස් තට්ටුවයි ඒකේ කළ පුරාවිද්යා වැඩ ගැනයි ලියල තියෙනවා.
මේ වැටියේ තියෙන අමුතු බව නිසා විවිධ කතා හැදිල තියෙනවා. සමහර අය මේ ගැන දැන් දැන් අලුත් කතාත් හඳනවා. ඒ නිසා අපි බලමු මේ පස් තට්ටුවේ කතාව මොකක්ද කියල. භූ විද්යාවේ දි කාලයක් ගැන කතාවෙනවා චාතුර්ථික අවධිය කියල. මේ කාලේ ගැන තොරතුරු සපයන අර්ධ ශුෂ්ක කලාපයේ වෙරළබඩ පැතිරිලා තියෙන වැලි නැත්නම් බොරළු තට්ටුවක් තමා මේ. මේ වැලි භූගත ජීර්ණයට ලක් වෙලා තද රතු පාටේ ඉදල හුඹස් මැටි රතුපාට වෙනකල් මේ වැලි තට්ටුවේ පාට. බලන්න ලස්සනයි. මේ තට්ටුව එළියොනයිට් වශයෙන් දිරා ගියපු පැරණි වෙරළබඩ වැළිකඳු ලෙයසි සැලකෙන්නේ. ෆෙල්ඩ්ස්පාර්, ඇම්ෆිබෝල්ට්ස්, ෆයිරොක්සීන් වගේම ගා(ර්)නට් කියන සංඝටක මිශ්ර වෙලා තියෙන හින්දයි මේ පාට වෙලා තියෙන්නේ.
මේ වැලි තට්ටුව ලංකාවේ වයඹදිග හා උතුරුදිග වෙරළබඩ කලාපයේ වගේ ම ගිණිකොණදිග හා දකුණුදිග කලාපවලයි විහිදිල තියෙන්නේ. එහෙම නැත්නම් පල්ලම ඉදල පුල්මඩුව දක්වාත්, අම්බලන්තොට ඉදල පොතුවිල්-කෝමාරි දක්වාත් තමයි පැතිරිලා තියෙන්නේ. අපි සමහර විට යන තැන්වලත් මේ පස් තට්ටුව තියෙනවා. නැවත ගියොත් බලන්න පුළුවන් නිසා සටහන් කරන්නම්. උතුරු ප්රදේශයේ මාන්කුලම්, ඉරණමඩු, අලිමංකඩ, කොකාවිල්, ඕලුමඩු, තුනුක්කායි, පූනකරි, පරන්තන්, පුදුකුඩුඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, නැදුන්කර්නි, පුලියන්කුලම් වගේ තැන්වලත් වයඹදිග පැත්තේ තිියෙන විල්පත්තු, පොම්පරිප්පු, මුල්ලිකුලම්, සිලාවතුර, මුරුන්කන්, මඩු, වනාතවිල්ල, පුලියන්කුලම්, තබ්බෝව, කල්ලඩි, බංගදෙණිය, පල්ලම, ආඬිගම, ආණමඩුව කියන පැතිවලත් දැකගන්න පුුළුවන්. දකුණු හා ගිණිකොණදිග කලාපයේ බූන්දල, යාල, මිනිහාගල්කන්ද, ඔකද, පානම, පොතුවිල්, තෙළුල, තිස්සමහාරාමය, හම්බන්තොට, අම්බලන්තොට, හුංගම, රන්න, තංගල්ල, අඟුණකොළපැලැස්ස, ඇඹිලිපිටිය වගේ තැන්වලත් මේ වැලි තට්ටුව බලන්න පුළුවන්. මේ හා සමාන පාංශු සංකීර්ණයක් ඉන්දියාවෙ වෙරලබඩත් තියෙනවා. ඉන්දියානු අර්ධද්වීපයේ නැඟෙනහිර හා බටහිර පැත්තට පහළම මුහුද අයිනේ. ඒවට ටෙරි ක්ෂේත්ර (Teri sites) කියලයි කියන්නේ.
මේ පාංශු කලාපය හරිම විශේෂයි. රටේ වෙරළබඩනේ පිහිටල තියෙන්නෙත්. ඒ නිසා ප්රාග් ඓතිහාසික මිනිස්සු ගැන විස්තර මේ තුළ තියෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. ප්රාග් ඓතිහාසික මිනිස්සු මුහුදට ගොඩක් ආස වෙලා තියෙනවා. දැන් වුනත් අපි කොච්චර ආසද මුහුදට නේද? මුහුද දිහා කොච්චර බලාන හිටියත් එපා වෙන්නේ නෑනේ. 1972 දි ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා මේ ඉරණමඩු සංකීර්ණය ගැව හොයාබලන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ තැන් 50ක් විශේෂ අවධානයට ලක් කළා. දළ වශයෙන් ගත්තොත් අදින් අවුරුදු 125,000කට නැත්නම් 250,000 විතර දක්වා කාලයේ මේ දූපතේ පැවති පරිසර තත්ත්වය වගේම පැරණිම ගල් යුගය පිළිබඳ විධිමත් අදහසක් ඇතිකර ගන්න මේ මඟින් පුළුවන් වුනා.
අවුරුදු 125,000කට විතර ඉස්සෙල්ල ලංකාවේ ප්රාග් ඓතිහාසික ජනාවාස තිබුණ කියෙන එක ඉස්සෙල්ලම මේ කැනිම් අනුව තහවුරු වුනා. ඒ බූන්දල වෙරළේ කළ පුරාවිද්යා කැනීම් මඟින්. ගවේෂණයෙන් පෙනී ගිය සාධක මත ඉරණමඩු පාංශු සංකීර්ණයට අයිති බූන්දල පිහිටි ස්ථාන දෙකක් වුණු වැල්ලේගංගොඩ (49C) හා පතිරාජවෙළ (50A) කියන ස්ථාන කැනීම් සඳහා තොරගත්තා. ඒ කැනීම් ගැන ඉතාම කෙටියෙන් හරි කිවුවේ නැත්නම් මේ සටහන අසම්පූර්ණයි.
බූන්දල වැල්ලේගංගොඩ කියන ස්ථානයේ බොරළු තට්ටුව දැන් මුහුදු මට්ටමට වඩා ආසන්නව මීටර් 8ක් උසින් පිහිටලා තියෙන්නේ. මීටර් 4ක් විතර ඝණකම් වැලි තට්ටුවකින් වැහිල. මෙතන කළ කැනීමෙන් මිනිසුන් ජීවත් වූ බවට සාධක ලැබුනා. පතුලේ බොරළු තට්ටුවෙන් හමු වූණු ගල් මෙවළම් වයසත් එක්ක දිරාල හින්ද රූපීය විශේෂතා හඳුනාගන්න අමාරුයි. ඒත් ඒවා ප්රාග් ඓතිහාසික මිනිස්සු හදපු ගල් මෙවලම් කියන එක ගැන නම් සැකයක් නැහැ. බූන්දල පතිරාජවෙළ කියන්නේ කැනීම් කළ දෙ වැනි තැන. මෙතන පතුලේ බොරළු තට්ටුව වර්තමාන මුහුදු මට්ටමට වඩා මීටර් 15ක් පමණ උසයි. මේ බොරළු තට්ටුව අවුරුදු 125,000ක් විතර පරණ වෙන්න ඕන කියලයි තක්සේරු කරල තියෙන්නේ. කැනීම් මඟින් ඒ කාලෙටම නැත්නම් පුරාශිලා යුගයට අයිති වෙන්න ඕන කියල තක්සේරු කළ ගල් ආයුධ ලැබිලා. ඉන්දියාවේ භෞතික විද්යා පර්යේෂණාගාරයේ ආචාර්ය සිංග්වි (A.K. Singhvi) මැතිතුමා බොරළු වලට උඩින් තැම්පත් වෙලා තියෙන වැලි තට්ටුව තාපසම්දිප්තතා කියන කාලනීර්ණය ක්රමය අනුව කාලනීර්ණය කරල තියෙනවා. ඒ අනුව වසර 74,000-64,000 කාලයට අයති බවටයි තහවුරු වෙලා තියෙන්නේ. මේ බොරළු තට්ටුවෙන් ගල් මෙවලම් ලැබිලා. ඒ අතර ජ්යාමිතික නොවන තිරුවාණා ක්ෂුද්රශිලා මෙවලමුත් තියෙනවා. පසුගිය වසර 28,000 තුළ මීටරයකට වසර 3,500 බැඟින් ගණනය කළහම මේ තැම්පතු අවුරුදු ලක්ෂ 5ක් විතර දක්වා ඇත කාලෙකට ගමන් කරන්න පුළුවන් කියල ගණන් බලල තියෙනවා. මෙිවා ඉතිං ඉදිරියේ දි කරන්න ඕන වැඩ.
බූන්දල පතිරාජවෙල කුඩා පතුරු මෙවලම් මෑත පූර්ව 125,000-75,000ටත් වැල්ලේගංගොඩ මෙවළම් ආසන්න වශයෙන් මෑත පූර්ව 80,000 කාලයටත් අයිති බව කාලනීර්ණ අනුව පෙන්නලා දීල තියෙනවා. මේ ගල් ආයුධ හැර ආහාරයට ගත්ත දේවල් හෝ වෙනත් කිසිම දෙයක් ඉතිරි වෙලා නැති බවයි පේන්නේ. හේතුව වැසි දේශගුන තත්ත්වය නිසා දිරල යනවනේ. හැබැයි ඉදිරියේ දි වර්ධනය වුණු ක්රමවලින් සමහර විට ඒ වගේ සාධක එක් කරන්න පුළුවන් වේවි.
මේ පාංශු සැකැස්මේ සිදුකළ හොයාබැලීම් එක්ක අඩුම තරමින් අන්තිම අවුරුදු ලක්ෂ කීපයේ උෂ්ණ අවධිවල වර්ෂාපතනය වැඩි තෙත් දේශගුණයක් වගේම සීතල කාලවල වියළි දේශගුණ ස්වභාවයක් තිබුණු බවත් පැහැදිළි වෙලා තියෙනවා. මේ ප්රදේශවල හිටපු පැරණි මිනිස්සු මධ්යම පුරාශිලා යුගයට අයිති තිරුවාණා හා කහඳ ගල් මෙවලම් නිපදවලා තියෙනවා.
‍‍
මේ සමඟ අමුණා තියෙන රූපයෙන් පෙන්වන්නේ බූන්දල මුහුද අයිනේ දර්ශනයක්.
චන්දිම අඹන්වල
2020.04.07 / 11.30 AM
- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X