23 C
Colombo
Monday, January 18, 2021

22. වෙස්සගිරියේ සිතුවම්

Must read

Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

අපේ රටේ අතීතයේ හිටපු අය විවිධ අරමුණු සහිතව නිමැ වූ කලාකෘති සියදහස් ගණනාවකින් අපේ රට පෝසත්. මේ කෙටි සටහන් පෙළේ 22 වැනි සටහනින් එ වැනි කලා නිර්මාණයක් ගැන කතාකරන්නයි මම හිතුවේ. ඒ ලංකාවේ පැරණි චිත්ර ගැන. එතැනිනුත් අනුරාධපුරයේ තිසාවැව කිට්ටුව පිහිටලා තියෙන වෙස්සගිරිය කියල දැන් හඳුන්වන පරණ ආරාම පංසලේ දි දැකගන්න පුළුවන් සිතුවම් නිර්මාණ ගැනයි.

අනුරාධපුරයේ තියෙන බොහෝම සිත් ඇදගන්නා පුරාවිද්යා ස්ථානයක් තමා මේ වෙස්සගිරිය. ස්වභාවික පරිසරය, වාස්තු විද්යාව, සෙල්ලිපි, කලා නිර්මාණ වැනි බොහෝ දේවල්, අක්කර කීපයක පැතිරිලා තියෙන නටඹුන් ස්ථානයේ දි දැකගන්න පුළුවන්. අනුරාධපුරය වදින්න බලන්න එය අයගෙනුත් සීමිත පිරිසක් විතරයි මේ ස්ථානය දැකබලාගන්න එන්නේ. ශ්රී මහා බෝධිය පැත්තේ ඉදල එද්දි දැන් අපි ඉසුරුමුනිය කියල හඳුන්වන පංසල පහුකරල ටික දුරක් යද්දි මේ තැනට එන්න පුළුවන්. මහාවංසයේ තියෙන වළගම්බා පුවතේ දැන්වෙන කාරණයක් නිසා මේ ස්ථානයට දැන් වෙස්සගිරිය කියල කිවුවත් මේ එනමින් වංසකතාවන්හි දැක්වෙන විහාරය නෙවෙයි. මේ ‘ඉස්සර සමණ විහාරය’ කියල හඳුන්වපු විහාරය බව දැන් එම ස්ථානයේම තියෙන සෙල්ලිපි වලින් තහවුරු වෙලා තියෙන්නේ. ඉසුරන් සහිත අය පන්සියයක් දෙනා මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලබා විසූ තැන ඉසුරුමුණිය වූ බව මහාවංසයේ තියෙනවා. ඒ දේවානම් පියතිස්ස රජ සමයේ දීමයි. ක්රිස්තු වර්ෂ 477 ඉදල 495 දක්වා මෙරට පාලනය කළ ඒ වගේම සීගිරිය නිර්මාණය කළ කස්සප රජතුමා මෙම විහාරය අලුත්වැඩියා කරල තමන්ගේ නමත් තම දියණියන් දෙ දෙනාගේ නමුත් එක්කරල මෙම විහාරය බෝ-උපුල්වන්-කසුබ්-ගිරි විහාරය කියල නම් කළා කියල කියැවෙන සෙල්ලිපි හමු වෙලා තියෙනවා. ඒ තියන්නේ මේ විහාරය බෝ-උපුල්වන්-කසුබ්-ගිරි විහාරය බව දැන් තහවුරුයි. මේ සමහර අයට දන්නවා ඇතිනේ පිදුරංගල කන්ද පාමුළ තියෙන විහාරයේ නමත් ඒකමයි කියල. මේ ස්ථානයේ ගල්කුළු තුනක් ඇසුරු කරගෙන කරපු ගල් ලෙන්, ගොඩනැඟිලි හා සෙල්ලිපි ආදිය දැකගන්න පුළුවන්.

ලංකාවේ පළමු වැනි පුරාවිද්යා කොමසාරිස් වුණු හැරී චාල්ස් පර්වියෙස් බෙල් මැතිතුමා තමා මේ සිතුවම් ගැන 1907 දි මුළින්ම ලියල තියෙන්නේ. එතුමා කියල තියෙන විදිහට B පර්වත සංකීර්ණයට අයිති 9 හා 10 කියන ගල්ලෙන්වල තමා මේ සිතුවම් තියෙන්නේ. ලංකාවේ පැරණි සිතුවම් පිළිබඳ හොයාබලපු විද්වතුන් පෙන්වා දෙන්නේ ගොනාගොල්ල, කණ්ඩලම, කොටියාගල, කරඹගල, සීගිරිය වෙස්සගිරිය වගේ තැන් කීපයක ලංකාවේ පැරණිම සිතුවම් කොටස් පවතිනවා කියලයි. තවත් තැන් තියෙනවා, මේ කතාවට ඒවා ඕන නෑ. ඒ සමහරු කියල තියෙන ආකාරයට සුප්රසිද්ධ සීගිරියේ සිතුවම් සම්ප්රදායට බොහෝ සෙයින් අනුගත සිතුවම් තමා මේ වෙස්සගිරියෙ තියෙන්නේ. මේ උගතුනට අනුව මේ ස්ථානයේ මානව රූප, දේව රූප හා විවිධ සැරසිලි තියෙන බවත් ඒවා ඇඳිමට කොළ, රඹ හා රතු වැනි පාට යොදාගෙන ඇති බවත් පැහැදිලියි.

එච්.සී.පී. බෙල් මැතිතුමා හා මහාචාර්ය සේනක බණ්ඩාරනායක මැතිතුමාට අනුව වෙස්සගිරිසේ සිතුවම් සීගිරියේ සිතුවම් හා බෙහෙවින් සමානයි. එකම ගුරුකුලයකට අයිති එහෙම නැත්නම් එකම ශිල්පියෙක් විසින් මේ සිතුවම් අඳින්නට ඇතැයි ඔහුන් පෙන්වා දිමෙන් ම මේ දෙ තැන තියෙන සිතුවම් අතර ඇති සම්බන්ධතාවේ සමීප බව පැහැදිලිනේ.

අංක 9න් හඳුන්වා ඇති ගුහාවේ තියෙන බෙහෙවින් හායනය වූ අඩි 3ක් උස හා අඩි 2ක් පමණ පළල රූපය සුන්දර කාන්තා රූපයක්. කහ, රතු හා කොළ යන පාට පාවිච්චි කරල ඇදල තියෙන මේ රූපය මහාචාර්ය සේනක බණ්ඩාරනායක මැතිතුමාට අනුව නම් නාගිනි රුවක්. ඒ කියන්නේ නාග කාන්තාවක්. අංක 10 ගුහාවේ ඇති සිතුවම අඩි 2ක් පමණ උස හා අඩි 1 අඟල් 6ක් පමණ පුළුල වූ කුඩා පුරුෂ රූපයක්. මේ රූපය අදින්න කහ හා රතු පාට යොදාගෙන තියෙන බව පේනවා. මේ රූපය ඇදල තියෙන ආකාරය අනුව නම් අහසේ පියාඹලා යන දේවතා රුවක් බවට නම් සැකයක් නෑ. ඉස්සර ලස්සනට ඇදල තිබුණු මහා විසාල සිතුවකම කොටස් විතරයි අද ඉතිරි වෙලා තියෙන්නේ. අර උඩින් කිවුව කාන්තා රූපයට දකුණු පැත්තේ බුද්ධ රූපයක් හරි බෝසත් රූපයක් හරි තියෙන්න ඇති. මේ සිතුවම් සමස්ත වශයෙන් ගෙන සලකා බැලීමේ දි මේ සිතුවම මඟින් බුදු හිමියන් හෝ බෝධිසත්වයන් වහන්සේ වන්දනා කරන ආකාරයක් නිරූපණය කර තිබෙන්නට ඇති බව මහාචාර්ය බණ්ඩාරණායක මැතතිතුමාත් ලියල තියෙනවා.

මේ සටහන සමඟ තියෙන රූපයේ වම් පැත්තේ තියෙන්නේ ඉහත කිවුව කාන්තා රූපේ. දකුණු පැත්තේ තියෙන්නේ දේවතා රූපේ. හොඳින් බැලුවොත් රූප හරියට අඳුරගන්න පුළුවන් වෙයි. මේ සිතුවම් ඇඳල තියෙන තැනට ගියත් හොඳට පුරුදු නොකළ ඇහැකට මේ සිතුවම් අඳුර ගන්නත් අමාරුයි. දැන් එච්චරකට විනාශ වෙලා.

ඇස්. ජී. චාල්ස් මැතිතුමා පෙන්වලා දීල තියෙන විදිහට වෙස්සගිරියේ අවධි දෙකකට අයත් සිතුවම් දක්නට තියෙනවා. ඒ අනුව ඉහත විස්තර කළ සිතුවම් වලට යටින් ඇති ස්තරයක සීගිරි සමයටත් වඩා පැරණි කාලයට අයිති වෙන සිතුවම් කොටස් තියෙනවා. ඉහළ තට්ටුවේ තියෙන සිතුවම් ශක්තිමත් හා ප්රාණවත් රේඛාවෙන් නිරූපණය කර ඇති සිතුවම්. මේවා පොළොන්නරුවේ පුල්ලිගොඩ තියෙන සිතුවම් හා සමානයි කියලත් ඔහු කියනවා.

පුරාවිද්යා දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා 1972 වසරේ දි ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි කියන සිතුවම් සංරක්ෂණ ශිල්පියා ගෙන්නලා මෙම සිතුවම් විනාශ වන එක අවම කරල තියෙනවා. ඊට පස්සෙත් ඒ කියන්නේ 1984 වසරේ දිත් නැවත සංරක්ෂණය කරල තියෙනවා. නමුත් ඕන දෙයක ආයු කාලයක් තියෙනවනේ. අපි ලේසියට පුරාවිද්යා දෙපාර්තමේන්තුවය කෑ ගැහුවට අපේ අය ම ගිහිල්ල මේ චිත්ර අත ගානවා. ඒ විතරක් නම් මදෑ ඒවා මත නම්ගම් ලියල තමන් මානසික විකෘතියෙන් පළෙන බවත් සටහන් කරනවා. මේ විදිහට මිනිස්සු කරන හානිය අවම කරන්න ඒ සිතුවම් වට කරල යකඩ වැටකුත් හදල තියෙනවා.

වෙස්සගිරියේ කාන්තා රූපය සිගිරිය සිතුවම් අතර තියෙන සමහර කාන්තා රූපවලට සමානයි කියන එක දැන් පැහැදිලියි. ඒ වගේම තමා අනුරාධපුරයේ හොරොව්පොතානට ආසන්න තැනක් තියෙනවා ‘හඳගල විහාරය’ කියල. මිහින්තලේ විහාරයට තරමක් සමානයි. එතැනත් ගල්ලෙනක තරමක් උසින් කාන්තා රූප වගයක් සිතුවම් කරල තියෙනවා. ඒ වගේමයි මිහින්තලේට කිලෝමීටරයක් විතර දුරින් තැනක් තියෙනවා වසංමලේ නැත්නම් මොණරගල කියල. එතැනත් තියෙනවා බොහොම විනාශ වුණු සිතුවමක්. ඒ සිතුවමේ පැත්තකත් තියෙනවා හුරුබුහුටි ලලනා රූපයක්. මේ වගේ සිතුවම් සියල්ලම පාහේ තියෙන්නේ බෞද්ධ පන්සල් වලනේ. ගොඩාක් විට වන්දනා කරන නැත්නම් ගරුපක්ෂපාත බව විදහාපාන ඉරියවුවකින් ඉන්නේ. රාජකීය උපාසක අම්මලා වගේ. රාජකීය ලිලාව නිසානේ බොහෝ දෙනෙක් කියන්නේ මේ දිව්ය අප්සරාවෝ කියල. හැබැයි මේ ලේඛකයා නම් හිතන්නේ මේ වෙස්සගිරියේ, මිහින්තලේ මොණරගලේ හා හඳගල විහාරයේ ඉන්නේ නාග කන්යාවෝ කියලයි. හුරුබුහුටියි. කාමය උද්දීපනය වෙන්නෙ නෑ. අර බණ්ඩාරණායක මැතිතුමා කිවුව විදිහට නාගිනි රූප. බෞද්ධ වංසකතා හා වෙනත් පොත් බැලුවහමත් පේනවා නාග වංශිකයෝ කියන්නේ බුදුදහමට බොහෝම ලෙන්ගතුව හිටිය පිරිසක් කියල. අවශ්ය නම් අපිට ඒ ගැන තවත් බරසාරෙට කතාකරන්න පුළුවන්.

ඔයාලත් වෙස්සගිරියේ ගියපු වෙලාවක මේ අප්සරාවෝ බලල එන්න අමතක කරන්න එපා. එයාල බොහොම ලෙන්ගතු විදිහට බලාන ඉන්නවා ඔයාලා ඇවිත් බලල යයි කියල. එයාලට මොනවත් ගෙනියන්න ඕන නෑ. එයාලගෙන් දෙයක් ගේන්න හිතන්නත් එපා. ඒ වගේම එයාලගේ ඇඟ හූරන්න, අල්ලල බලන්න එහෙම යන්නත් එපා. මෝඩ කම පෙන්වන්න නම්ගම් ලියන්න යන්නත් එපා. අහු වුනොත් ඇප ලැබෙන්නෙත් නෑ. දන් නෑ කියල කීවට වැඩක් නෑ. වස් වදිනවා සත්තයි. මොකද ඒ ලස්සන සුන්දර රූප අයිති අපිට විතරක් නෙවේ, අපේ අනාගත දරු පරම්පරාවටත් අයිතියි.

චන්දිම අඹන්වල

2020.04.04 / 00.36 AM

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

X
X