30 C
Colombo
Tuesday, June 15, 2021

21. වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස

Must read

චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ ලිපිය හමු වෙලා තියෙන්නේ යාපනය දිස්ත්රික්කයේ වඩමාරච්චි ප්රදේශයේ පිහිටල තියෙන වල්ලිපුරම් කියන ගමෙන්. සිංහල විදිහට කිවුවොත් ‘වැලිපුර’ කියන ගම. ඒ 1936 විතර. ගමේ පිරිසක් විසින් ඒ ස්ථානයේ කෝවිලක් හදන්න පදනම් කානු පාදද්දි තමයි මේ රන්පත ලැබිල තියෙන්නේ. මෙතැන තිබුණු පරණ ගොඩනැඟිල්ලක පාදමකට යට කරලයි මේ රන්පත තිබිල තියෙන්නේ. මෙතැන තිබිල තවත් පුරාවස්තු ගණනාවකුත් හමුවුණු බව තමා වාර්තා වෙලා තියෙන්නේ. මේ රන්පත අඟල් 4ක් විතර දිග අඟල් 1ක් පමණ පළල එකක්. බර ග්රෙන්ස් 70ක් විතර කියලයි මහාචාර්ය පරණවිතාන මැතිඳා ලියල තියෙන්නේ. දැන් අපේ රටේ අභිමානය කියාපාන, කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ ප්රදර්ශනයට තියෙල තියෙනවා. මේ අනගිභවනීය පුරාකෘතිය ගැනත් ලියල තියෙන්නේ අද දවසේ අඳබාලයින්ගේ ගැරහීමට පාත්ර වන ඉසිවරයෙක් වන් මහා ප්රාඥ සෙනරත් පරණවිතාන මැතිඳාමයි. කටු පහර වදින්න වදින්න ඔප වැටෙන මැණිකක් වගේ පරණවිතාන නමට පහර ගහන තරමට එතුමගේ දිස්නය වැඩිවෙනවා මිසක් අඩු වෙන් නෑ. මෙතුමා මේ ගැන ලියපු ලිපිය Epigraphia Zeylanica කෘතියේ III වැනි කාණ්ඩයේ පළවෙලා තියෙනවා. සිංහලටත් පෙරළලා තියෙනවා, ඒ පුරාවිද්යා දෙපාර්තමේන්තුව මඟින්මයි.
මෙම රන්පතේ තියෙන ලිපිය ක්රිස්තු වර්ෂයෙන් පළමු වැනි ශතවර්ෂයට අයිති අකුරු වලින් ලියල තියෙන්නේ. මේ කාලයට අයිති වෙනත් ලිපි එක්ක බලද්දි මේ ලිපියේ අකුරු වෙනස්. වේගවත් හා වැල් අකුරු බවක් තමයි පේන්න තියෙන්නේ. මේ වගේ දෙයක් ඇති වෙන්න හේතුව මේ අකුරු රන් තහඩුවක ලියල තියෙන එකයි. ඒ මත ලිස්සන ගතිය වැඩියි කියන කාරණය පැහැදිලියි නේ. මේ ලිපිය සටහන් කරල තියෙන්නේ ඒ කාලයටම අයිති බ්රාහ්මි අකුරුවලින්. බස ගත්තොත් පැරණි සිංහල.
සෙනරත් පරණවිතාන මැතිතුමා මේ රන්පත ගැන ලිපිය ලියද්දි බොහෝම රසවත් විදිහට ලියල තියෙනවා, සාහිත්යය නිර්මාණයක් තරමට රසවත්. අද ඉතිහාසය, පුරාවිද්යාව කරන අයටත් ඉගෙන ගන්න දේ බොහොමයි ලිවීම ගැන. මේ රන්පතේ ලේඛනය සටහන් කළ තැනැත්තා ලිපිය ලියල ඒක තැම්පත් කරල තියෙන්නේ ඒ ලිපියෙන්ම කියල තියෙන පරණ පන්සලේ පදනමේ. මිහිපිට ඉන්න කෙනෙකුට බලන්න වෙන්න බෑ එතන තැම්පත් කරල තියෙන්නේ. එහෙනම් කාට බලන්න ද. පරණවිතාන මැතිදා කියන විදිහට සක්ර දෙවියන්ට දකින්න, බලන්න. මේ ගැන මාත් එක්ක වාදෙට එන්න ඕන නෑ, වැඩි විස්තර ඕන අය ඒ ලිපිය කියවල ඉමුකෝ.
මේ දුර්ලභ ලේඛනයේ පෙළ හා අරුත පහත දක්වලා තියෙනවා. ලිපිය පේළි හතරයි. ‘සිධා‘ නැත්නම් යහපතක් වේවා කියල ආශිර්වාද කරන්න ලියුව පාඨය පළමු වැනි හා දෙ වැනි පේළි අතර ආරමභයේම තියෙනවා. මේ ආශිර්වාදය මේ විදිහටම හරි ඊට වඩා තරමක් වෙනස් ආකාරයකට මේ කාලේ ලිපිවල සුලභව යෙදෙනවා.
පෙළ
සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයේ නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක-තිස
විහර කරිතෙ
තේරුම
යහපතක්ම වේවා ! වහ(බ) මහරජුගේ රාජ්ය සමයෙහි අමාත්ය වූ ඉසිගිරය නකදිව පාලනය කරන කල්හි, පියගුකතිස බදකර-අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදි
ඒ අරුත නැවතත් තවත් සරළ කරල කිවුවොත් කියන්න වෙන්නේ මෙහෙමයි. ‘වසබ නම් රජුගේ රාජ්ය කාලයේ ඉසිගිරය නම් ඇමැතිවරයා නාගදීපය පාලනය කළා. ඒ කාලයේ ම පියගුකතිස නම් තැනැත්තා විසින් බදකර අතන නම් ස්ථානයෙහි විහාරයක් ඉදිකරන ලදී
මහාචාර්ය පරණවිතානයන්ට අනුව මෙම ලිපියේ දැකවෙන ‘වහබ’ කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ක්රිස්තු වර්ෂ 65 – 109 කාලයේ මෙරට පාලනය කළ වසභ රජුයි. නමුත් මෙම ලිපියේ දැක්වෙන ‘ඉසගිර’ නම් ඇමැතිවරයා හා ‘පියගුකතිස’ කියන දානපතියා ගැන නම් මෙරට වෙනත් මූලාශ්රයක සඳහන් වෙලා නැහැ.
අනුරාධපුරයේ ඉදල රාජ්යය විචාල රජකුගේ අනසකට යටත්ව නිකුත් කළ ලේඛනයක් යාපන පරදේශයෙන් ලැබීමත් එහි ඇතුළත් වෙලා තියෙන දේත් එක්ක බලද්දි මේ රජුගේ පාලනයට යාපන ප්රදේශයත් නතුව තිබුණු බව පැහැදිලියි. ඉතිං මේ රන්පතේ ලේඛනයත් අනුව උතුරු නැඟෙනහිර කලාපයේ සාම්ප්රදායික දෙමළ නිජබිමක් හා පාලනයක් තිබුණ කිව්ව කාරණය අසමත් වෙනවා. ඇයි ක්රිස්තු වර්ෂ 2 වැනි සියවස වෙද්දිත් මේ ප්රදේශය අනුරාධපුරයේ හිටිය වසබ රජතුමාගේ පාලනයට අනුගතවනේ පාලනය තිබිල තියෙන්නේ. එතුමාගේ නිලධාරින්මයි ඉදල තියෙන්නේ. අපි කලින් සටහනකින් කතාකළ කඳුරුගොඩ විහාරයෙන් හමුවුණු මැටිපාත්තරයේ ලියල තිබුණු ලේඛනයත් මේ අවස්ථාවේ සිහියට ගන්නකෝ.
මේ කෙටි සටහන ලියද්දි මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා දක්වල තියෙන අදහසක් ඒ විදිහටම උපුටලා දක්වන එක හොඳයි කියලයි හිතෙන්නේ. මේ පරිවර්තනය ඇදල ගත්තේ මාලිනි ඩයස් මැතිණියගේ පරිවර්තනයකින්.

දෙවන ශතවර්ෂයේ දි නාගදීපය අනුරාධපුරයේ රජුගේ අමාත්යයෙකු විසින් පාලනය කළ බව ද, සිංහල භාෂාව එකල එහි ව්යවහාර භාෂාව වූ බව ද බෞද්ධ සිද්ධස්ථාන එහි ගොඩනැගෙමින් පැවති බව ද මේ රන්පත් ලිපිය සනාථ කරයි. ලංකාවේ ලියැවුණු පාලි ග්රන්ථයන්හි මෙන්ම වංශකතාවල ද නාගදීපය ගැන සඳහන් කරුණුවලින් හෙළිවන්නේ අද පවත්නා සේ නොව මෙම ප්රදේශයන්හි පුරාණයේ විසූ ජනයාගේ ජාතිය, භාෂාව හා ආගම අතින් වෙනස් නොවූ බවකි. මේ අනුව පැරණි සිංහල ජනයාගේ දේශපාලන, ආගමික හා සංස්කෘතික ඉතිහාසයට දිවයිනේ උතුරුකරය ද සෑම අතින්ම සම්බන්ධ වූ බව සනාථ වෙයි. ජනගහනයේ දෙමළ ජන අනුපාතය දිවයිනේ සෙසු ප්රදේශවලට වඩා ක්රමයෙන් මෙහි වර්ධනය වෙමින් පැවතුනත් ඉහත කී තත්ත්වය පොළොන්නරු යුගයේ අවසාන භාගය දක්වා නොකඩවා පැවතියේය.

මෙම ලේඛනයේ ‘නකදිව’ යනුවෙන් අදහස් කර ඇත්තේ අද එනමින් හඳුන්වනු ලබන දූපත පමණක් නොව සම්පූර්ණ යාපන අර්ධද්වීපයමයි. ලංකාවේ කීර්තිමත් විද්වතෙකු වූ පෝල් ඊ. පීරිස් මැතිතුමා විසින් විවිධ මුලාශ්රය උපකාර කරගනිමින් නාගදීප යනු සමස්ත යාපන අර්ධද්වීපයම බව වල්ලිපුරම් සන්නස ලැබෙන්න පෙර දක්වලා තිබූනා. එතුමාගේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වගේ සනාථ කරගන්න පුළුවන් වුනේ මේ රන්පතේ ලිපිය උපකාරයෙනුයි.
මේ සටහනට එක්කරල තියෙන සන්නසේ රූපය ගත්තේ https://www.flickr.com වෙබ් අඩවියේ තියෙන එකතුවකින්. මේ රූපයේ මැද අකුරක් දම්පාටින් තියෙනවා. මට නම් ඒ ගැන කිසිම දැනුමක් නැහැ. මේ සටහන කියවන අය අතර ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සටහනක් දාන්නයි කියලත් ඉල්ලනවා.
චන්දිම අඹන්වල
2020.04.03 / 02.14 AM
- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X