19. මිහින්තලේ, බෙහෙත් ගෙය

අපේ ඉතිහාසයේ විශිෂ්ඨත්වය පෙන්නුම් කරන දෙයක් ගැන විස්තර කරන්නයි මේ සටහන. අපේ හැදියාවේ බිහිදොර වුණු මිහින්තලේට එන කෙනෙකුට දැකබලා ගන්න පුළුවන් මිහින්තලේ පැරණි බෙහෙත් ගෙය ගැනයි මේ විස්තරය. අපේ පැරැන්නන්ගේ වෙදකමේ පැවති සංවිධානාත්මක බව දැනගන්න මේ වගේ තැනකට යන එක හරිම ප්‍රයෝජනවත්. මේ වගේ පැරණි බෙහෙත් හල් ලංකාවේ කීප තැනකම තියෙනවා. අනුරාධපුරයේ ථූපාරාමය අසළ, බසවක්කුලම වැව පාමුළ, පොළොන්නරුවේ ආළාහන පරිවෙණ හා මැදිරිගිරිය කියන තැන්වලත් මේ වගේ පැරණි රෝහල් තියෙනවා.
මහාවංසයේ 51 වැනි පරිදච්ජේදයේ තියෙනවා ක්‍රිස්තු වර්ෂ 853-887 කාලයේ හිටි දෙ වැනි සේන රජු සෑගිරියෙහි වෙද සලක් කර වූ බව. ඒ කියන්නේ මේ රෝහළ එතකොට අවුරුදු 1,200ක් විතර පරණයි. මෙම ගොඩනැඟිල්ල ඉස්ඉස්සෙල්ලම ඒ කියන්නේ 1910 දී කැනීම් කළේ ලංකාවේ පළමු වැනි පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් මැතිඳා. ඊට පස්සේ 1947 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා කැනීම් කරල මේ ගැන හොයලබලල තියෙනවා. මේ කැනීම්වලින් හමු වුණු සැත්කම් උපකරණ කීපයකුයි, බෙහෙත් දාල තිබුණු මැටි භාජන, ඇඹරුම් ගල් වගේ දෙවල් ටිකක් මේ බෙහෙත් හළට ඇස් මානේ පිහිටුවල තියෙන පුරාවිද්‍යා කෞතුකාගාරේ තියෙනවා. සල්ලි එහෙම ගන් නෑ, ගියපු වෙලාවක ගොඩවෙන්න. මේ වෙදහළ කැනිම් කරාට පස්සේ දැන් තහවුරු කරල තියෙන විදිහ තමා මේ සමඟ තියෙන රූපේ වම් පැත්තේ තියෙන සැලසුමේ තියෙන්නේ. අනිත් රූප දෙක බෙහෙත් ඔරුවයි, බුදු මැදුරයි.
මේ ගොඩනැඟිල්ලේ ප්‍රධාන පිවිසුම තියෙන්නේ මිහින්තලා කන්ද පැත්තට. බෙහෙත් ගෙයි බිම් සැලැස්ම බලද්දි ප්‍රධාන කොටස් 2ක් තියෙනවා විවෘත භූමිය සහිත ඉදිරිපස කොටස හා බුදු පිළිමගෙය සහිත ඇතුළු කොටස වශයෙන්.
විවෘත භූමිය සහිත ඉදිරිපස කොටස බාහිර රෝගි අංශයක් වශයෙනුයි තිබිල තියෙන්නේ. දකුණු පැත්තට තියෙන ප්‍රධාන පිවිසුමෙන් දකුණට තියෙන දොරින් ඇතුළට යද්දිම දකුණු පැත්තෙන් කුටියක් තියෙනවා. මේකට වහලකුත් තිබිල තියෙනවා. මෙය රෝගීන් පරික්‍ෂා කළ තැන වෙන්න ඕන. ඇතුළේ තියෙන එළිමහන් භූමියේ වම් පැත්තේ ඇඹරුම් ගලක් තියෙනවා. මෙවැනිම හැඩයෙන් යුතු ඒත් ප්‍රමාණයෙන් කුඩා ඇඹරුම් ගලක් මිහින්තලේ පුරාවිද්‍යා කටුගේ තියෙනවා. මේ අසල ම තියෙන කුඩා කුටිය බෙහෙත් එහෙම තැම්පත් කරල තිබුණු තැන හැටියටයි මේ ලේඛකයට හිතෙන්නේ. ඒ කුටියට දකුණින් ගල්කණු 30කින් බර දරාගෙන සිටි වහලක් සහතව පැවති විශාල කුටියක් තියෙනවා. මේ බෙහෙත් ගෙයි උවටැන් ලැබූ භික්‍ෂූන් වහන්සේලාට දානය සැප යූ දාන ශාලාව කියලයි පුරාවිද්‍යාඥයෝ හඳුනාගෙන තියෙන්නේ. මේ කියන දාන ශාලාවට අනිත් පැත්තේ බොහොම වැදගත් තැනක් තියෙනවා. සාමාන්‍ය උසට වඩා වැඩි උස් බිම් මට්ටමකින් පිහිටුවා ඇති මෙම කුටීරයත් වහලක් මඟින් හෙවණ ලැබූවක්. මෙම කුටිය මැද හතරැස් වලක් තියෙනවා. මෙයට කියන්නේ උණුපැන් ගෙය නැත්නම් ජන්තාඝරය කියලයි. අද අර කට්ටිය ‘ස්ටීම් බාත්’ කියල කරන්නේ. ඒ දේ තමා මෙතන දී කළේ. මිහින්තලේ මේ වගේ ජන්තාඝර කීපයක්ම තියෙනවා. ලංකාවේ පැරණි ආරමය බොහොමයක මේ වගේ ඒවා තියෙනවා. කුරුණෑගල කිට්ටුව තියෙන අරන්කැලේ වගේම හොරොව්පොතාන කිට්ටුව තියෙන කිරලාගල කියන තැන්වල හරි ලස්සන ජනාතාඝර තියෙනවා.
බෙහෙත් ගෙයි ඇතුළු කොටස රෝගීන්ගේ නේවාසික කුටි හා ‘බුදුමැදුර’ වශයෙන් කොටස් දෙකකට වෙන්කරලයි තියෙන්නේ. මේ කොටසේ එකම වේදිකාවකින් සම්බන්ධ වූ කුටි 32ක් තියෙනවා. මෙම කුටි නේවාසික රෝගී භික්ෂුන් වහන්සේලා නවාතැන් ගෙන සිටි තැන්.
බෙහෙත් හලේ ඊසාන කෙළවරේ තියෙන කුටියත් හරිම වැදගත්. බෙහෙත් ඔරුව තියෙන්නේ මේ කුටියේ. මෙම කාමරයෙහි පමණක්, බිම ගල් පුවරු අතුරලා එක් පැත්තකින් එළියට යන්න දොරටුවක් තියෙල තියෙනවා. රෝගීන්, ඖෂධ දියරයන්හි ගිල්වා තබන්නයි බෙහෙත් ඔරුව පාවිච්චි වෙන්නේ. මේ ඔරුව කලාත්මක වශයෙන් බැලුවහමත් හරිම උසස්. මේ වගේ බෙහෙත් ඔරු කීපයක්ම ලංකාවේ තියෙනවා. අර කලින් කිවුව හැම රෝහලකම වගේ මේ වගේ ඔරු තියෙනවා. මේ බෙහෙත් ඔරුවේ ප්‍රමාණය බලද්දි ඒ කාලේ මිනිස්සුත් ශරීරයේ තරම අපිත් එක්ක වෙනසක් නෑ.
නේවාසික කුටිවලින් වට වෙලා තියෙන්නේ බුදුමැදුර. බුදුමැදුර වහලකින් ආවරණය වෙලයි තිබිල තියෙන්නේ. බුදු මැදුරට පිවිසෙන තැන සදකඩපහණක් වගේ ම දෙ පස කැටයම් රහිත මුරගල් දෙකක් තියෙනවා. එයින් දකුණු පැත්තේ තියෙන මුරගලේ පේළි හතක සෙල් ලිපියක් දැකගන්න පුළුවන්. මේ ලිපියේ – වෙද සලෙහි – කියල සටහන් කරල තියෙන නිසා මේ ස්ථානය වෙදහළ කියන එක ගැන පොඩි සැකයක්වත් නැති වෙනවා කියල ජයන්ත උඩුවර මැතිතුමා කියල තියෙනවා. මේ බුදුමැදුර තුළ ගලින් සකස් කළ නෙළුම් මලක් උඩ බුදු පිළිමයක් වැඩහිටි බව ඉතාම පැහැදිලියි. ඉතිං බලන්නකෝ අපේ රටේ ඉස්සර ඉදපු අය ගතින් දුබල ගිලනුන්ගේ සිත සුවපත් කරන්නනේ මේක හදල තියෙන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටිය බොහොම ප්‍රසිද්ධ සැක්කම් පිළිබඳ වෙද මහැදුරු කෙනෙක් අර්ජුන අලුවිහාරේ කියල. සමහර වැඩිහිටි අය අහල ඇති. ඉති අර පොළොන්නරුවේ තියෙන ආළාහළ පිරිවෙණේ වෙදහල සංස්කෘතික ත්‍රිකොණ ව්‍යාපෘතිය මගින් කැනීම් කලානේ. එතැන දි හමු වුණු පොඩි පොඩි උපකරණ පිළිබඳ අධයයනය කරල ඒවා බොහොම වර්ධිත, වෙදකමක් සඳහා භාවිත කළ උපකරණ කියල එතුමා ලියල තියෙනවා. ඉන්ටර්නෙට් එකේ බැලුවොත් එතුමා ලියපු සමහර දේවල් තියෙනවා.
මෙතැන වෙලා තියෙන්නේ නිකංම නිකං වෙදකමක් නෙවෙයි. බාහිර රෝගීන්ටත් බෙහෙත් කරල. රොගීන් නේවාසික කරලත් බෙහෙත් කරල. උණුපැන් නාවනවා වගේ වැඩත් කරල. අවශ්‍ය අය බෙහෙත් ඔරුවක බස්සලා තියල. භාග විට සැත්කම් එ‍හෙමත් කරන්න ඇති. බඩත් පුරවන්න වැඩ කරල නම් විතරක් මදෑ, හිත පිරෙන්නත් වැඩ කරල. මේ දේවල් කරන්න නම් කොහොම වෙදැදුරෝ ඉන්න ඇත් ද කියල ටිකක් හිතල බලන්න. කරුණාව පෙරදැරිකරගත් අය වෙන්න ඕන. හෙදකමත් ඒ විදිහට තියෙන්න ඇති. අපි කියවලා තියෙනවානේ මහාවංසයේ බුද්ධදාස කියන රජතුමාගේ විස්මිත වෙදකම් ගැන.
මේ වගේ අංග සම්පූර්ණ රෝහලක් තිබුණු රටක, විශිෂ්ඨ වෙද ඇත්තන් හිටපු රටක සෞඛය සේවය උසස් වෙන එක අහන් දෙයක් ද? අපේ රටේ වෙදැදුරොයි පාලකයෝ හැමෝමයි මේ අද තියෙන මහාමාරිය ජය ගන්නවා සිකුරුයි. එහෙම බැරි වුනොත් තමා ලෝක පුදුමේ.

අපි ඉති පුළුවන් විදිහට මේ උරුමය පාදල මතුකරල ගන්න ඕන. ඒවා ගැන දැනකියා ගන්නත් ඕන. අපි පාදා මතුකර ගන්න ඕන අපේ ඇහැට පේන්න තියෙන මේ අතීත කතාවයි ඒත් එක්ක බැදුණු සාක්කියි කියන එකයි මේ ලේඛකයාගේ අදහස.

Previous article35. බලංගොඩ මිනිසාගේ භූමදානය හා ශරීර ලක්‍ෂණ
Next article18. පුරාවිද්‍යාවේ මූලාශ්‍රය
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.