17. කඳුරුගොඩ මැටි පාත්‍ර කැබැල්ල

යාපනය ‘කන්ටරොඩායි’ එහෙම නැත්නම් අපි දන්න විදිහට කඳුරුගොඩ විහාරයේ සිදුකළ කැනීමකින් අනාවරණය වූ පැරණිම බ්‍රාහ්මි අකුරු සහිත මැටි පාත්‍ර කැබැල්ලක් ගැනයි මේ සටහන. ඒ කියන්නේ මේ කෙටි සටහනත් අභිලේඛනයක් ගැන. අභිලේඛන ගැන ලියනව වැඩිද මන්ද? ඒ ගැන ඔබේ අදහසත් කියන්න. වැඩි වුවත් කමක් නෑ, මට දැනෙන විදිහට මේකත් බොහෝම වැදගත් ලේඛනයක්. ඒ නිසා කෙටියෙන් හෝ ඒක ගැන කතාකරල ඉමු.
මේ ගැන තොරතුරු ඇතුළත් ලිපිය පළ වෙලා තියෙන්නේ 1973 වසරේ දී යාපනය පුරාවිද්‍යා සංගමය මගින් ප්‍රකාශයට පත් කළ ‘පූර්වකලා’ කියන සඟරාවේ මලර් 1, 18 – 19 පිටුවල. ලිපිය ලියල තියෙන්නේ එවකට පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වූ ආචාර්ය කේ. ඉන්ද්‍රපාල මැතිතුමා.
1970 වසරේ පෙන්සිල්වේනියා කෞතුකාගාර විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි මැතිණිය හා ආචාර්ය බෙනට් බ්‍රැන්සන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් යාපනයේ දිස්ත්‍රික්කයේ කන්දරොඩේ නම් ස්ථානයේ ඔවුන් විසින් ‘දිවුල් වත්ත’ නමින් හැඳින් වූ ස්ථානයේ සිදුකරන ලද කැනීමකින් මෙම අක්‍ෂර සහිත මැටිබඳුන් කැබැල්ල හමු වෙලා තියෙන්නේ. රූලේටඩ් වර්ගයේ මැටි බඳුනක ගැටි කැබැල්ලක්. මෙම මැටිබඳුන භික්‍ෂූන් වහන්සේලා දානය වැලඳීම සඳහා භාවිත කරන එකක් කියලයි කියන්නේ. අනුරාධපුර ඇතුළු නගරයෙන් හා තිස්සමහාරාමයෙන් ද මේ හා සමාන මැටිබඳුන් කැබලි ලැබිල තියෙනවා. ඒ විතරක් නෙවී ඉන්දියාවේ ‘අරිකමේඩු’ කියන ප්‍රසිද්ධ පුරාවිද්‍යා ස්ථානයෙන් ද ලැබිල තියෙනවා කියලයි කියන්නේ.
මේ ලිපියට අකුරු 6යි. පළමු ව තියෙන අකුර පූර්ව බ්‍රාහ්මී ‘ම’ වශයෙන් කියවා ගන්න පුළුවන් වුනත් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මැතිඳුගේ අදහස වූයේ ඒ සංකේතයක් බවයි. මෙම මැටිබඳුන් කැබැල්ලේ දැක්වෙන සටහන් පරිස්සමින් බලද්දි ඒ අදහස වඩාත් නිවැරදියි කියල පේනවා. ඊට පස්සේ තියෙන සංකේත 5 සමඟ සසඳල බලද්දි මේ පළමු වැනි සටහන ඒවා සමඟ නොසැසෙඳන බව පැහැදිලියි. අනුරාධපුරය ඇතුළු නගරයේ හමුවන මැටිබඳුන් කොටස්වල ද මෙවැනි ම සංකේත දැකගන්න පුළුවන්. මේ වගේ තවත් සංකේත පෙරිය පුලියන්කුලම, නැට්ටුකන්ද, තෝනිගල හා පරමාකන්ද වැනි ස්ථානවල තියෙන පැරණිම කාලයට අයත් ගල්ලෙන් ලිපි සමඟත් යෙදිල තියෙනවා කියලයි ඒ ලේඛකයා කියන්නේ.
අපි කතා කරන මේ ලිපිය අපහසුවක් නැතිව කියවන්න පුළුවන්. ඒ අකුරු පැහැදිලිව සටහන් කරල තියෙනවා. සාමාන්‍යයෙන් මැටි බඳුන්වල මේ අකුරු ලියන්නේ මැටිබදුන පිළිස්සුවට පස්සේ. ඒ ක්‍රමයට post firing method කියල කියනව. මේ ලිපිය ලංකාවේ පැරණිම කාලයට අයිති එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව තුන් වැනි හා ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවස අතර කාලයට අයත් ගල්ලෙන්වල සටහන් කර ඇති පැරණිම ලිපි හා බෙහෙවින් සමාන බවක් තමා පේන්නේ. අකුරු හැඩ වගේ ම අරුත අනුව බැලුවත් මේ ලිපිය ක්‍රිස්තු පූර්ව කාලෙට අයිතියි කියන එක ගැන සැකයක් ඇති වෙන්නේ නෑ.
මෙම මැටි බදුනේ සූරා දක්වල තියෙන ලිපිය පහත පරිදියි.
පෙළ
දතහ පත
අර්ථය
දත්තගේ පාත්‍රය
මේ ලිපියේ තියෙන ‘දතහ’ යන්නෙහි ‘හ’ කාරය, සම්බන්ධ විභක්තියේ යෙදී ඇති ප්‍රත්‍යයක්. ඒ කියන්නේ ‘ගේ’ යන සම්බන්ධය හඟවනවා. බස පිළිබඳ ප්‍රවීනයින්ගේ අදහස වෙන්නේ සම්බන්ධ විභත්ති ප්‍රත්‍යය වශයෙන් යෙදෙන ‘හ’ කාරය සිංහල ප්‍රාකෘතයෙහි අනන්‍ය අංගයක් කියලයි. ඒ කියන්නේ මේ ලිපියේ බස සිංහල ප්‍රාකෘත. මේ ලිපියෙන් අදාළ පාත්‍රයේ අයිතිය නැත්නම් ඒ පාත්‍රය පූජා කළ පරිත්‍යාගශීලියා ගැන දැක්වෙනව කියලයි හිතන්න තියෙන්නේ. මේ ලිපියේ තියෙන දත නැත්නම් දත්ත කියන නම මේ කාලයේ ගල්ලෙන් ලිපි වලත් කීප වාරයක් ම යෙදිල තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කාලෙය් සුලභව පාවිච්චි වුණු නමක්.
ආචාර්ය කාර්යේගේසු ඉන්ද්‍රපාල මැතිතුමාට අනුව මෙම ලිපිය යාපනය දිස්ත්‍රික්කයෙන් හමු වෙලා තියෙන පැරණිම ලේඛනය. මේ කියන්නේ සිංහල ප්‍රාකෘත ලිපියක් ගැනනේ. එල්ටිටිඊ ත්‍රස්තවාදය ලංකාවේ තියෙන කාලේ පිරිසක් කියන්න උත්සාහ කළා ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයේ අනාදිමත් කාලයක ඉදල දෙමළ නිජභූමියක් තිබුනා කියල. මේ කියවන ඔයාලට අමතක වෙන්න තරම් කාලයක් නැති නිසා මතක ඇති කියල හිතනවා. ඒ අදහස පුස්සක් බවට පත් කරන්න පුළුවන් වුනේ මේ වගේ බොහොම ප්‍රබල පුරාවිද්‍යා සාධක නිසා.
හැංගිලා තිබුණත් මේ වගේ දේවල් ගැනත් අපි දැනගෙන ඉන්න එක ලංකාවේ පුරවැසියන් විදිහට වටිනවා කියන එකයි මගේ නම් අදහස. ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ මේවා දන්නේ පුරාවිද්‍යාඥයින් ඉතිහාසඥයින් විතරක් වීමයි. ඉතිං මේ වගේ දේවල් ගැන ලියන එක පුරාවිද්‍යාව ඉතිහාසය හදාරණ අයගේ වගකීමක් හා යුතුකමක්.
මේ සමඟ ඉදිරිපත් කරල තියෙන රූපේ කලින් කිවුව පුර්වකලා සඟරාවේ පිට කවරේ තිබුණු එකක්.
චන්දිම අඹන්වල
Previous article18. පුරාවිද්‍යාවේ මූලාශ්‍රය
Next article15. පාළුමැකිච්චාව ගිරි ලිපිය
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.