29 C
Colombo
Monday, October 18, 2021

11. අතීතය කාලපරිච්ෙජ්දකරණය

Must read

චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
අපි කලිනුත් කතා කළා ලෝකයේ මිනිසුන්ගේ කතාව අවුරුදු ලක්ෂ ගණනාවක් ඈතට යනවා කියල. මේ අතීතය ගැනනේ අපි පුරාවිද්‍යාව වගේ විෂයන් වල දී හදාරන්නේ. අවුරුදු මිලියන 4,500ක් විතර පැරණි පෘතුවියේ අතිතය හදාරණ එක කරන්නේ භූ විද්‍යාව වගේ විෂයන්වල දි. මානව අතීත කතාව ගැන හොයද්දි විද්වතුන් ඒ සම්පූර්ණ කාලය යම් යම් අනු පරිච්ෙඡ්දවලට බෙදල තියෙනවා අධ්‍යයනය කිරීමේ පහසුව තකා. මේ බෙදීමේ දී පදනම් කරගෙන තියෙන්නේ ඒ ඒ කාලවල මිනිසුන් අත්කරගෙන තිබුණු ප්‍රමුඛ තාක්‍ෂණය. මෙතැන මතක තබාගත යුතු දෙයක් තමා තත්කාලීනව සිටි මිනිසුන් සියලු දෙනාම ඒ යුගයට අදාළ තාක්ෂණයේ හිටිය කියන එක නම් නෙවෙයි. සම කාලීන යම් ජන කණ්ඩායමක් ඒ ප්‍රමුඛ තාක්ෂණය අත්කර ගනිද්දි තව පිරිසක් පරණ පුරුදු විදිහටම ඉන්න පුළුවන්. මේ කාලේ සමහර අය ග්‍රහලෝක ගැන හොයද්දි තව පිරිසක් ඉන්නේ දඩයම් කරගෙන ජීවත් වෙලා. හිතල බැලුවොත් අපි ගාවත් ගල් යුගයේ ලක්ෂණ කොච්චර තියෙනව ද නේද?
ලෝක මට්ටමින් ගත්තහම මිනිස් අතීතය බෙදල තියෙන ආකාරය තමයි පහළින් පෙළ ගහල තියෙන්නේ. මේකේ තියෙන කාල නීර්ණ සමහර විට ටිකක් විතර පරණයි. මෙම කාල පරිච්ෙඡ්දකරණයේ රේඛීය ස්වභාවක් දැකගන්නත් පුළුවන්. ඒත් ඒ විස්තර මේ කතාවට ප්‍රමාණවත් කියලයි මම හිතන්නේ. දන්න කියන අයට අලුත් විස්තර පහළ කොමෙන්ට් විදිහට එකතු කරන්නත් පුළුවන්.
x පුරාශිලා යුගය (Palaeolitic Period)
  • පහළ පුරාශිලා යුගය (Lower Palaeolitic)
  • මධ්‍යම පුරාශිලා යුගය (MiddlePalaeolitic)
  • ඉහළ පුරාශිලා යුගය (Upper Palaeolitic)
x මධ්‍ය ශිලා යුගය (Mesolithic Period)
x නවශිලා යුගය (Neolithic Period)
x තඹ යුගය (Calcolithic Period)
x ලෝකඩ යුගය (Bronze Age)
x යකඩ යුගය · (Iron Age)
දැන් මේ යුග ගැන කෙටියෙන් කතාකරමු. පුරාශිලා යුගයේ ඉදල නවශිලා යුගය දක්වාම මිනිසුන්ගේ ප්‍රධාන තාක්ෂණය වුනේ ගල් මෙවලම්. මේ කාලයේ කපන්න, තලන්න, සූරන්න, සිදුරු කරන්න හා අඹරන්න කියන සියලු කටයුතු සඳහා විවිධ ගල්වලින් සාදාගත් මෙවළම් තමා මිනිස්සු භාවිත කළේ.
පුරාශිලා යුගය කියන්නේ ගල් යුගයේ පැරණිම කාලය. යුරෝපය ගත්තහම ආරම්භයේ ඉදල අදින් අවුරුදු 10,000 පමණ වනතෙක් මෙම කාලය. මේ කාලයේ මිනිසුන් භාවිත කළ මෙවළම් අතර කැපීපෙනෙන නිමැවුම තමා ගල් අත් පොරොව (hand axe). පුරාශිලා යුගය බෙහෙවින් දිගු නිසා නැවත කොටස් තුනකට බෙදල තියෙනවා පහළ පුරාශිලා යුගය (Lower Palaeolithic), මධ්‍යම පුරාශිලා යුගය (Middle Palaeolithic) හා ඉහළ පුරාශිලා යුගය (Upper Palaeolithic) කියල. අවුරුදු ලක්ෂ 20 පමණ සිට ලක්ෂ 2 පමණ දක්වා කාලය පහළ පුරාශිලා යුගය වශයෙන් සැලකෙනවා. මේ කාලයේ ප්‍රධාන තාක්‍ෂණයයි අත් පොරව. පතුරු මෙවළම් තාක්ෂණය (flakes) ප්‍රධාන තාක්‍ෂණ විධිය වූ මධ්‍යම පැලියොලිතික යුගය අදින් වසර 150,000 පමණ සිට 40,000 දක්වා පැවතිලා තියෙනවා. ඉහළ පුරාශිලා යුගය අවරුදු 40,000 සිට 10,000 දක්වා පැවතුණු අතර මේ කාලයේ විශේෂත්වයක් වශයෙන් හොමෝ සේපියන්ස් (Homo sapiens) මානවයා නැත්නම් නූතන මානවයාගේ ව්‍යාප්තිය හඳුනාගත හැකි වේ. මේ කාලයේ මිනිසා කලා නිර්මාණ පිළිබඳවත් උනන්දු වෙලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධ ඇල්ටමීරා (Alamira) හා ලැසේකෝස් (Lascaux) ගුහා සිතුවම් මේ කාලයට අයතියි. තල මෙවළම් (blades) මේ කාලයේ ප්‍රමුඛ තාක්‍ෂණය වශයෙන් හඳුනාගෙන ඇත. ගල් ආයුධ ගැන කතාකරද්දි හමුවන සොලුත්‍රියන්, මැග්දලේනියන් හා පෙරිගෝලියන් වගේ ගල්ආයුධ සම්ප්‍රදා බොහෝ දුරට මේ කාලයටයි සම්බන්ධ.
මධ්‍යම ගල් යුගය යන අදහසින් මධ්‍යශිලා යුගය (Mesolithic period) නම් කරල තියෙනවා. යුරෝපය ගැන හිතද්දි අදින් වසර 10,000 සිට 2,000 දක්වා කාලය තමා මෙයට ගැනෙන්නේ. ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍රශිලා මෙවළම් (Geometric Microlithic) තමා මේ කාලය හඳුනා ගන්න භාවිත කරන තාක්‍ෂණ විධිය. ඒ නිසා දැන් දැන් මේ කාලය ක්‍ෂුද්‍රශිලා යුගය කියලත් හඳුන්වන ප්‍රවණතාවක් පවතිනවා. එයින් අනතුරුව මිනිස් සමාජය අයිති කරගත් උත්කෘෂ්ට අවස්ථාව නවශිලා යුගයයි (Neolithic Period). අලුත් ගල් යුගය යන අදහසින් තමා මේ කාලේ නම් කරල තියෙන්නේ. මේ කාලේ මානව සංහතියේ විප්ලවීය අවස්ථාවක් වශයෙන් මහාචාර්ය වී. ගොර්ඩන් චයිල්ඩ් නම් විද්වතා හඳුන්වා දී ඇත. මිනිසා පළමු වරට ස්වභාව ධර්මය වෙත තිබූ පූර්ණ අවනත බව දුරලා වගාව හා සත්ව පාලනය සිදු කරන්නේ මේ කාලයේ දි බැව් සැලකේ. ඒ වගේම මැටිබඳුන් නිමවීම, ස්ථිරව ගෙවල් තනාගැනීම හා විධිමත් ආකාරයෙන් ස්මාරක නිමවීමත් මේ කාලයේ දි සිදුකර ඇත. ගල් ආයුධ තාක්‍ෂණයේ ද සැලකිය යුතු වෙනසක් මේ කාලයේ දි ඇතිවන අතර දිලිසෙන මතුපිටක් සහිත ගල් උපකරණ වගේම ධාන්‍ය ඇඹරීම සඳහා උපයෝගි කරගන්නා ඇඹරුම්ගල්වල භාවිතයේ වැඩිවීමක් ද සිදු වේ.
එයින් අනතරුව තඹ-ගල් යුගය යන අදහස ඇති කැල්කොලිතික් යුගයට (Calcolithic Period) මිනිසා පිවිසෙයි. ස්වාභාවිකව පැවති තඹගල් නිස්සාරණය කිරිමකින් තොරව භාවිත කිරීමට ඇත්තේ එහි පවත්නා කාර්යක්‍ෂමතාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීමෙන් විය යුතු වේ. තඹ යුගයට පසු මිනිසුන් ලෝකඩ යුගයට (Bronze Age) පා තබයි. අමුද්‍රව්‍ය යම් සකස් කිරීමේ ක‍්‍රියාවලියකට භාජනය කර ලෝකඩ තනා ගන්නට ඇත. එයින් ද පසු යකඩ තාක්‍ෂණය මිනිසුන් අඳුනා ගන්නා අතර මෙය මිනිසා තැබූ විශිෂ්ට ඉදිරි පියවරක් ලෙස හැඳින්වුව වරදක් නැත. යකඩ නිර්මාණ සඳහා ඉහළ තාක්‍ෂණික අවබෝධයක් පැවතිය යුතු වේ. යපස් නිස්සාරණය සඳහා ඉහළ උෂ්ණත්වයක් ලබාගත යුතු අතර එය සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදුකළ නොහැක්කකි.
මේ සටහනේ ඉහළ විස්තර කරල තියෙන්නේ ලෝකෙටම පොදු කාල පරිච්ෙඡ්දකරණය. නමුත් මෙම කාලපරිච්ෙඡ්ද මේ ආකාරයටම අපට අදාළ නැහැ. ලංකාවේ අතීතය හොයා බලද්දි පේන්නේ මීට වඩා වෙනත් තත්වයක්. දැනට ලංකාවේ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ පුරාශිලා යුගයේ මධ්‍යම පුරාශිලා යුගයට අයිති සීමිත සාධක ප්‍රමාණයක්. මධ්‍යශිලා සාධක නම් ඕන තරම්. කාලයත් යුරෝපයට වඩා පැරණියි. නවශිලා යුගය පිළිබඳත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්. තඹ හා ලෝකඩ යුග නම් ඇත්ෙත්ම නෑතිතරම්. හැබැයි යකඩ තක්‍ෂණය නම් බොහොම ජයට තිබුණු බවක් පේනවා. යකඩ තාක්‍ෂණය අදින් වසර 3,000කට පමණ පෙරත් තිබුණු බව නම් පැහැදිලියි.
ඉහත පෙන්වලා දීලා තියෙන්නේ මානව අතීතය ගැන විපරම් කරද්දි හමුවන සමාජ-තාක්‍ෂණික යුග ගැන. මේ දේවල් ගැන පිරිසිදු අවබෝධයක් සහිතව තමා අතීතය ගැන හොයන්න බලන්න ඕන. මේ දේවල් දිහා බලද්දි මිනිසා ක්‍රමිකව වර්ධනය වුණු බවක් තමා පේන්න තියෙන්නේ. මේ තත්ත්වය මේ මහා භද්‍ර කල්පයටම පොදුයි කියලයි මේ ලේඛකයාට හිතෙන්නේ.
මේ සටහන කියවන ඔයාලගෙන් අදහසක් බලාපොරොත්තු වෙනවා අවසානයේ. ඒ කියන්නේ මානව සමාජය අත්කරගත් එක් එක් තාක්‍ෂණ අනුව මේ විදිහට බෙදා වෙන්කරනවා නම් මේ අපි ජීවත් වන කාලය නම් කරන්න වෙන්නේ කොහාම ද? මම කැමතියි ඔයාලගේ අදහස දැනගන්න. පොඩි වෙලාවක් අරන් පහළින් කොමෙන්ටුවක් දාමුකො එහෙනම් ඒ ගැන ඔබේ අදහස. මගේ අදහස දින දෙක තුනකින් කියන්නම්.
මේ සමඟ දක්වා ඇති ඡායාරූපය https://www.irishtimes.com
වෙබ් අඩවියෙන් උපුටලා ගත්ත එකක්.
චන්දිම අඹන්වල
- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X