07. ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව

මේ කෙටි ලිපියෙන් කියන්න යන්නේ ලංකාවේ යාපනය පැත්තෙන් අනාවරණය වූ වැදගත් ලේඛනයක් සහිත පුරාකෘතියක් පිළිබඳව. පැරණි ලේඛන ගැන උනන්දු අය අතර “ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව” (Annaicoddai seal) යනුවෙන් ප්‍රසිද්ධ මේ පුරාකෘතියයි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය පොන්නම්බලම් රඝුපති, මහාචාර්ය කාර්තියේගේසු ඉන්ද්‍රපාල හා ආචාර්ය එස්.කේ. සිත්‍රම්පලම් යන විද්වතුන් ගේ මූලිකත්වයෙන් 1980 දී ආනෛයිකොඩ්ඩායි යනුවෙන් දැන් හඳුන්වන ස්ථානයේ මහාශිලා සම්ප්‍රදායට අයත් සුසානයක සිදුකරන ලද කැනීමකින්. මේ සමඟ තිබුණු මිනිස් සැකිල්ල සමඟ හමු වූ මේ ලෝහ මුද්‍රාව බොහොම කුඩා එකක්. සෙන්ටිමීටර් 1.7ක් හා සෙන්ටිමීටර් 1.5ක් පමණ තමා දිග හා පළල. මුද්දකට සම්බන්ද කරල තිබුණා කියලත් කියනවා. මේ මුද්‍රාවේ සංකේත 6/7ක් දැකගන්න පුළුවන්. ඉහළ පේළියේ සංකේත 3/4ක් හා පහළ පේළියේ පරණම බ්‍රාහ්මි අකුරු 3/4ක් වශයෙන්. මුලින්ම මේ පිළිබඳ කියැවීමක් කළේ පොන්නම්බලම් රඝුපති මැතිතුමා හා කාර්තියේගේසු ඉන්ද්‍රාපාල මැතිතුමා. රඝුපති මැතිතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධය අනුසාරයෙන් සකසා පළකර ඇති Early settlements in Jaffna : an archaeological survey කියන පොතේ තමා මේ ගැන මුළින්ම සඳහන් වෙලා තියෙන්නේ. පස්සේ කාලෙක ඉන්ද්‍රපාලන් මැතිතුමාගේ The Evolution of an Ethnic Identity: The Tamils of Sri Lanka C. 300 BCE to C. 1200 CE කියන පොතෙත් මේ ගැන විස්තර ලියල තියෙනවා.
මේ සම්බන්ධව හොයාබලපු හැම කෙනෙක්ම පොදුවේ පිළිගන්නවා මෙහි පැරණිම බ්‍රාහ්මි අකුරු කියවිය යුත්තේ අපි සාමාන්‍යයෙන් කරන ආකාරයට වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට කියලා.
මහාචාර්ය ඉන්ද්‍රපාල මැතිතුමා මෙයින් යට තියෙන පැරණිම බ්‍රාහ්මි අකුරු “කොවෙන්ත” නැත්නම් “කොවෙතං” කියලයි කියවන්නේ. ද්‍රාවිඩ පවුලේ භාෂා අනුව මෙයින් අදහස් වෙන්නේ “රජුන්ගේත් රජු” නැත්නම් “රජු යන්න දෙවරක් යෙදී ඇති බවයි” ඔවුන්ගේ පැහැදිලි කිරීම. ඒ වගේම ඉහළ පේළියේ තියෙන ත්‍රිශූල වගේ සංකේතයෙන් රජු යන්නත් එය දෙ වරක් යෙදීම මගින් රජුන්ගේ රජු යන්න එයින් ද ගම්‍ය වන බවත් කියල තියෙනවා. මේ විද්වතුන් මේ මුද්‍රාව සඳහා ලබාදුන් අර්ථකථනය ඔස්සේ යාපනය ප්‍රදේශයේ පාරම්පරික දෙමළ නිජභූමියක් පැවති බවට සාධකයක් විදිහටත් යොදා ගත්තා. මේ එල්ටිටිඊ ත්‍රස්තවාදයත් යහමින් පැවති කාලයක්.
මේ ගැන බොහෝ අය නිශ්ශබ්ධව සිටියත් කොළඹ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා විසින් කැලණිය විශ්වවිද්‍යාලය මඟින් 1998 දී ප්‍රකාශයට පත් කළ ‘සරසවි’ කියන ලිපි එකතුව සඳහා සපයන ලද ‘ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව : ස්වරාජ්‍යවාදි ප්‍රවේෂයෙන් ඔබ්බට’ කියල ලිපියෙන් නිභයව, වඩාත් හොඳ පැහැදිලි කිරීමක් කරල තියෙනවා මේ ගැන. මේ සම්බන්ධයෙන් ශාස්ත්‍රකාමි හැම කෙනෙක්ගෙම ගෞරවය එතුමාට හිමි වෙන්න ඕන. ඒ වගේම මේ කරුණු අපි කවුරු කවුරුත් දැනගන්නත් ඕන. එතුමා මේ ලිපියේ තියෙන දෙමළ නිජබිම්වාදි ඉතිහාස පක්ෂපාතිබව පිළිබඳ සාකච්ඡා කර ඉන් අනතුරුව මෙම ලේඛනය පැවති සන්දර්භය පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම මුද්‍රාවේ පහළ පේළියේ ඇති අකුරු මගින් “කෙවෙත” යන්න සටහන් කර ඇති බව පෙන්වා දුන්නා. සිංහල ප්‍රාකෘතයෙන් සටහන් කර ඇති මේ කෙවෙත යන්නෙන් කෙවුල්, කෙවට්ට යන අදහස ජනනනය වන බව එතුමා පැහැදිලි කරයි. ධීවර කර්මාන්තය හා සම්බන්ධ මුදුහුබඩ ස්ථානයකින් මේ සොහොන හමු වීම නිසා යම් ධීවර ජනකායකගේ ප්‍රධානියෙක් සම්බන්ධ සොහොන් ගර්භයක් බව ද පෙන්වා දී ඇත.
ඉතිං මේ, අපි නොදන්නවා වුනාට ලංකාවේ බෙහෙවින් විවාදයට හේතු වූ හා ඉදිරියේදීත් හේතුසාධක විය හැති පුරාකෘතියක්. මේ නිර්මාණය දැන් කොහෙද තියෙන්නේ කියල මේ ලියුම්කරු මීට පෙර සොයා ඇතත් ඒ ගැන හරිහමන් විස්තරයක් නම් දැනගන්න ලැබිල නැහැ. ලැබුණු සැකකටයුතු තොරතුරු අනුව නම්, පොන්නම්බලම් රඝුපති මැතිතුමාගේ සිරිමතිය සමඟ මෙය ඇති බව අහන්න ලැබුනා. හැබැයි ඒ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ.
මේ ගැන වැඩිදුර හොයාබලන්න කැමැත්තක් ඇති කෙනෙකුට මේ ලිපිය තුළ දක්වා ඇති ලිපි හා පොත් හෝයාගෙන කියවන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය Sumedha Weerawardhana මැතිතුමා බොහොම මහන්සි වෙලා විස්තර හොයාගෙන මේ පිළිබඳ www.archaeology.lk/sinhala වෙබ් අඩවියට මේ ගැන ලිපියක් සපයලා තියෙනවා. ඒ ලිපියත් කියෙව්වොත් හොඳ දැනුමක් ගන්න පුළුවන්. (මේ ලිපිය එක්ක අමුණා ඇති ඡායාරූප 4 ගත්තෙත් සුමේධ වීරවර්ධන මහතාගෙන්මයි. වම් පැත්තේ තියෙන්නේ මුද්‍රාවේ සඳහන් අක්ෂර හා සංකේත. දකුණු පැත්තේ ඉහළ තියෙන්නේ මුද්‍රාව හා දකුණු පැත්තේ පහළ තියෙන්නේ මුද්‍රාව හමු වූ මානව සැකිල්ල.)
Previous article08. පී.ඊ.පී. දැරණියගල
Next article03. සත්ව අස්ථි මෙවළම්
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here