04. ලංකාවේ මානව අතීතයේ කාලපරිච්ජේද

මේ කෙටි සටහනින් කතා කරන්න යන්නේ ලංකාවේ මානව අතීතය පිළිබඳ අධ්‍යයනය කරන අය තම පහසුව සඳහා ඒ අතීතය කාලපරිච්ඡේදවලට බෙදල තියෙන හැටි ගැන. මේ පෙළේ 11 වැනි සටහනේ තිබුණු ලෝකයේ මානව අතීතය බෙදුව හැටි ගැන අවබෝධයක් තියෙන එක මේ සටහන පහසුවෙන් තේරුම් ගන්න රුකුලක් වෙයි. ඒ නිසා ඒ සටහන අමතක අය හරි නොබලපු අය ඒක බලල ඉන්න එක පහසුවක්. මතකනේ ඉතිහාසය කියන්නේ එකක්, අතීතය කියන්නේ තවත් කාරණයක්.
ඉතිහාසය ඉගෙන ගන්න අය අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, යටත් විජිත යුගය වගේ යුග බෙදීමක් කරනව. නමුත් ලංකාවේ පුරාවිද්‍යාව වගේ දේවල් ගැන කතාකරද්දි මේ බෙදීම ප්‍රමාණවත් නෑ. මොකද ලංකාවේ මිනිස්සු අකුරු ලියන්න කලිනුත් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඉතිහාස කාලයෙන් ඔබ්බට යන්න අවශ්‍ය වෙනවා.
ලංකාවේ මේ කාල බෙදීම ගැන විවිධ වියත්තු අදහස් දැක්වලා තිබුනත් විධිමත් විදිහට කාල බෙදීමක් කරල ප්‍රසිද්ධ කරල තියෙන්නේ ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා. Prehistory of Sri Lanka පොතේ පිටු අංක 707 ඉදල 739 දක්වා තියෙන කොටස කියව ගත්තොත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊට තදානුරූප කාල බෙදීමක් තමා පහළ පෙළ ගස්සලා තියෙන්නේ. ඉස්සෙල්ලම ඒක හොඳින් බලල ඉන්නකෝ.
  • ක්‍රි.පූ. 125,000 (හෝ ඊට පෙර) – ක්‍රි.පූ. 1,000 : ප්‍රාග් ඓතිහාසික අවධිය (පුරා ශිලා, මධ්‍ය ශිලා හා නව ශිලා)
  • ක්‍රි.පූ. 1,000 – ක්‍රි.පූ. 500 පූර්ව ඓතිහාසික යකඩ අවධිය
  • ක්‍රි.පූ. 500 – ක්‍රි.ව. 300 මූල ඓතිහාසික අවධිය
  • ක්‍රි.ව. 300 – ක්‍රි.ව. 1,200 මධ්‍ය ඓතිහාසික අවධිය
  • ක්‍රි.ව. 1,200 – ක්‍රි.ව. 1,500 අන්තර් ඓතිහාසික අවධිය
  • ක්‍රි.ව. 1,500 – ක්‍රි.ව. 1,815 නූතන ඓතිහාසික අවධිය
කරල තියෙන පුරාවිද්‍යා වැඩ අනුව ලංකාවේ මිනිසුන් වාසය කළ බවට විධිමත්ව ඈතම සාධක ලැබෙන්නේ රටේ දකුණු ඉමේ තියෙන බූන්දලින් (පතිරාජවෙල හා වැල්ලෙගංගොඩ). එතැන සිදුකළ කැනීම් වළේ මීටර් 4ක් විතර ගැඹුරේ මිනිස්සු හදපු ගල් ආයුධ ලැබුණු පස් තට්ටුව තාපසම්දීප්තතා කියන කාල නීර්ණ විධිය අනුව අදින් වසර 74,200ට කාලයට නීර්ණය වෙලා තියෙනවා. එතකොට මේ ගල් ආයුධ හා ඒවායේ හැඩතල අනුව ආදිම හෝමෝ සේපියන්වරු මේවා නිර්මාණය කරන්න ඇති කියලයි හිතන්නේ. ඒ මෙවළම් පුරාශිලා යුගයේ ‘මධ්‍යම පුරාශිලා යුගයට’ (middle palaeolithic) අයිති වෙන්න ඕන බවයි තක්සේරුව. ඉහත කිවුව දින නීර්ණ එක්ක එම ස්ථානයේ පතුළේම තියෙන පස් තට්ටු අදින් වසර 125,000ක් පමණ පරණයි කියල තක්සේරු කරනවා. ඒ නිසා අපේ ප්‍රාග් ඉතිහාසය ඒ තරම් පරණයි කියන එකට සැකයක් ඇතිවෙන්නේ නැහැ. පහළ පුරාශිලා යුගයට (lower palaeolithic) අයිති සාධක අපේ රටේ මේ වනතෙක් හමු වෙලා නෑ.
ප්‍රාග් ඓතිහාසික අවධියට අයිති මධ්‍යශිලා නැත්නම් ක්‍ෂුද්‍රශිලා යුගයට (mesolithic/microlithic) අයිති සාධක ලංකාවෙන් අඩුවක් නැතිව හමුවෙලා තියෙනවා. ඒ සාධක අදින් වසර 45,000ක් විතර පරණයි. ඒ පරණම සාධක ලැබෙන්නේ හොරණ ආසන්නයේ තියෙන යටිගම්පිටිය ෆා-හියං ලෙන කියන ස්ථානයෙන්. එතැන ඉදල අදින් වසර 3,500 පමණ වනතෙක් දින නීර්ණ සිය ගණනක් මේ යුගයට අදාළව ලැබිල තියෙනවා. මේ පහළම දිනනියම ලැබිල තියෙන්නේ මාතොට නැත්නම් මන්නාරමේ කළ පුරාවිද්‍යා කැනීම් වලින්. ප්‍රාග් ඓතිහාසික යුගයේ අන්තිම කාලය වන නවශිලා යුගය (neolithic) පිළිබඳ ස්ථිරව පැහැදිලි කරන්න පුළුවන් සාධක ලංකාවෙන් මෙතක් නම් ලැබිල නැහැ. ඒ නිසා නවශිලා යුගය පිළිබඳ තවම ලංකාවේ තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්.
ක්‍රිස්තු පූර්ව 1,000 ඉදල 500 දක්වා කාලය තමයි ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ (proto-historic iron age) වශයෙන් ගැනෙන්නේ. මේ කාලයේ නිශ්චිතව තීරණය කරපු අකුරු නම් නැහැ. මිනිස්සු හදපු දේවල් නම් සෑහෙන්න ලැබෙනවා. යකඩ නිර්මාණත් ලැබෙනවා. මේ කාලයේ අන්තිමට අකුරු ලියන්නත් මිනිස්සු හුරු වෙනවා.
බ්‍රාහ්මි අකුරු සටහන් කළ පැරණිම ලේඛන හමුවෙන අකුරු ලිවීම හොඳින් සිදුකරන මූළ ඓතිහාසික යුගය (early-historic period) තමා අපිට ඊලඟට හමුවෙන්නේ. ක්‍රිස්තු පූර්ව 500 විතර ඉදල ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මූල ඓතිහාසික අවධිය කාලේ අකුරු ලියන එක හොඳින් දැනගෙන ඉදල තියෙනවා. අනුරාධ ගම පුරයක් විදිහට වර්ධනය වෙලා අනුරාධපුරය ඉතා හොඳින් සකස් වෙන්නේ මේ කාලයේ. බුදුදහමත් මැවනින් ස්ථාපනය වෙනවා මේ කාලයේ. වාරිකර්මාන්ත වගේම විශාල ආගමික ගොඩනැඟිලිත් මේ කාලයේ ඇතිි වෙනවා. දැන් අපේ අපේ ඉතිහාසය ඇරඹිලා. මහාවංසය ලියන්නේ මෙතැනින් පස්සේ කාලේ ගැන. ඒක තමයි මහාවංසයේ අරමුණු. ලංකාවේ පැරණිම කාලේ ගැන කියන්න අදහසක් අරමුණක් මහාවංසයේ කර්තෘතුමාට තිබුනේ නෑ. මේ වගේ සරළ දේවල්වත් හිතාගන්න අවබෝධ කරගන්න බැරි අය තමයි මහාවංසයට ගරහන්නේ. සමහර වෙලාවට දන්නැති අයත් නෙවී, හිතාමතාම මේ ව්‍යාජ කතා කියනවා. කණගාටුදායක දෙය නම් මේ බව නොදන්න, අපේ රටේ ඉතිහාසයට අතීතයට ආදරය කරන පිරිසක් මෙයාලට ගොදුරු වීම. දින 14ක් නිරෝධනය කළත් මෙයාලා හදන්න බෑ. ‘බොරුවට නිදන අය ඇහැරවන්න බෑ’ කියල කිවුවේ නිකමටයැ නේද?
ලංකාවේ අගනගරය වුණු අනුරාධපුරය ඉතා හොඳින් ක්‍රියාත්මක වන කාලයක් වගේම එහි බිඳවැටීමත් සිදුවන කාලයක් තමා ක්‍රිස්තු වර්ෂ 300 ඉදල ක්‍රිස්තු වර්ෂ 1,200 අතර කාලයේ තියෙන ‘මධ්‍ය ඓතිහාසික අවධිය’ (mid-historic period). රජරට ශිෂ්ටාචාරය දුර්වල වෙලා රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වෙන්නේ අන්තර් ඓතිහාසික අවධියේ (middle historic period). ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1,200 ඉදල ක්‍රිස්තු වර්ෂ 1,500 කාලයේ. එතැනින් පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1,500 සිට ක්‍රිස්තු වර්ෂ 1,815 කාලය නූතන ඓතිහාසික අවධිය (modern historic period). මේ කාලයේ තමා ලංකාවට පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි කියන බටහිර ආක්‍රිමණික පාලකයන්ගේ බලපෑම එන්නේ. 1815න් පස්සේ ඉදල අද දක්වා කාලේ කියන්නේ නූතන අවධිය (modern period) කියන එක ආයේ වෙනම කියන්න ඕන නෑනේ නේ ද? ඕන නම් එක 1948න් වෙන්කරල ඊට පස්සේ කාලේ නූතන යුගය කියල කිවුවත් වැරැද්දක් පේන්නේ නැහැ.
ඉතිං මේ විදිහට තමා ලංකාවේ අතීතය නැත්නම් ප්‍රාග් ඉතිහාසය හා ඉතිහාසය කාලපරිච්ඡේදවලට බෙදල වෙන්කරල තියෙන විදිහ. සමහර පුරාවිද්‍යාඥයින්ට වගේම ඉතිහාසඥයින්ට මීට වඩා තරමක් වෙනස් අදහස් තියෙන්නත් පුළුවන්. මම මේ කිවුව දේවල් අවසන් විනිශ්චයක් නොවෙයි. ඒ නිසා ඒ වගේ තියෙන වෙනස් අදහස් මෙතන පහළින් කොමෙන්ට් වගේ ඉදිරිපත් කරයි කියලත් බලාපොරොත්තු වෙනවා කාගේ කාගෙත් දැනගැනීම සඳහා.
(මේ සටහන එක්ක දාල තියෙන රූපය https://gampahatown.lk වෙබ් අඩවියෙන් ගත්ත කියන එක ස්තුති පූර්වකව කියනවා.)
චන්දිම අඹන්වල
2020.03.29 / 03.24 PM
Previous article 17. කඳුරුගොඩ මැටි පාත්‍ර කැබැල්ල
Next article15. පාළුමැකිච්චාව ගිරි ලිපිය
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here