මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වර්තමාන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා මිහිමත පූර්ණ වශයෙන් පරිණාමය වීම දළ වශයෙන් අදින් වසර 200,000-300,000 ක් පමණ ගත වූ වෙහෙසකර ව්‍යායාමයකි. මුල් කාලීනව පරිසරයේ වූ ඝන තන්තුමය ආහාර හා සත්ත්ව මළකුණු පරිභෝජනය කරමින් ඔවුන් චිරාත් කාලයක් නොනැසී පැවතිණි. නමුත්, ඉච්ඡානුගව ශාක තමන්ගේ ආත්මාර්ථකාමී පරිභෝජනය උදෙසා වගා කළේ යැයි ආදිමය සාක්ෂි කිසිවක් හමු නොවන්නේ, එකල මුල් කෘෂිකර්මය සදහා අවශ්‍ය වන බුද්ධිමය පරිචය වෙත ඔවුන් ළගා නොවූ නිසා බවට කෙනෙකුට තර්ක කළ හැකි ය. නමුත් නවශිලා යුගය නියෝජනය කරන සියුම් හා උසස් තාකෂණයෙන් යුත් ශිලා මෙවලම් සෑදීමට තරම් වූ පාරිසරික, සංජනනාත්මක හා සංස්කෘතික සංවර්ධනය හා කෘෂිකර්මාන්තයේ උදාව සමපාත වීම තුළින් එම තර්කය සර්වසාධාරණ බවද කෙනෙකුට සිතිය හැකි ය. කෙසේ වෙතත්, දළ වශයෙන් වසර 15,000-20,000 කට පෙර, අපගේ මුතුන් මිත්තන් කෘෂිකර්මාන්තය තිබූ බවට අපට සාක්ෂි නොමැත. ඒ වෙනුවට, ඔවුන් දැඩි ලෙස දඩයම් කළ හෝ ආහාර සොයා ගිය බව අප නිසැකවම දන්නා කරුණයි. එහි වූ සරලත්වය පසෙක ලූ විට ඔවුන් අබියස වූ ප්‍රශ්නාර්ථය වූයේ, ඔවුන්ගේ ඊළඟ ආහාර වේල දක්වා කොපමණ දිනක් ගත වේද යන්න කිසිවකු නිශ්චිතව නොදැන සිටීමයි. විශේෂයෙන් එම අවිනිශ්චිතතාවයේ ගිනිදැල් කාලයාගේ ඇවෑමෙන් තීව්‍ර වූ දේශගුණික විපර්යාස හමුවේ බුර බුරා නැගිණි. ඔවුන් ආහාර සොයා නොගත්තේ නම්, ඔවුන් හෝ ඔවුන්ගේ පවුල් සාගින්නෙන් පෙළෙනු ඇත. දිනෙක ආහාර උදෙසා සැතපුම් ගණන් ගමන් කළ ද, අවසානයේ ආහාරයට කිසිවක් හමු නොවූ දිනගණන් ද ගෙවෙන්නට ඇත. මෙසේ බොහෝ පූර්ව කෘෂිකාර්මික සමාජ සඳහා, ඔවුන්ගේ ශක්තියෙන් කොටසක් වැඩි ශක්තියක් එදිනෙදා ආහාර උදෙසා වැයකිරීම හැර අන් විකල්පයක් ඔවුන්ට නොවීය.

අනෙක් අතට, සැවානා හෝ වැසිවනාන්තර පරිසරයක දී මරාගැනීමට සතුන් හෝ මරාදැමුණු සත්ත්ව මළකුණු සුලභ නොවන්නේ, එකී පරිසර පද්ධති තුළ සතුන් හා මානවයා සහයෝගීව ජීවත් වූ නිසාවෙනි. එනම්, එක් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක මිනිසුන් විශාල සංඛ්‍යාවක් අතරේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සමානව බෙදී යාම අපේක්ෂා කළ නොහැකි ය. ඒ් පිළිබද පර්යේෂණ සිදුකළ විද්වතුන්ගේ දළ ඇස්තමේන්තුව වන්නේ නිවර්තන වැසි වනාන්තර වැනි ජීවයෙන් සශ්‍රීක ස්ථාන, ඉහළ ඝනත්වයකට සහාය විය හැකිය යන උපකල්පිතයේ පිහිටා, දඩයම්කරුවන් 100 දෙනෙකුගෙන් යුත් ගෝත්‍රයකට වර්ග කිලෝමීටර් 50 සිට 500 දක්වා වූ භූගෝලීය සීමාවක් අවශ්‍ය වනු ඇත යන්නය. තවදුරටත් දඩයම්කිරීම හා ආහාර එකතු කිරීම මගින් කුඩා ජනගහනයක් උදෙසා පමණක් මිහිතලය මත පහසුකම් සැලසුණු අතර, අදින් වසර 10,000කට පෙරදී සිටි ජනගහනය මිලියන 6 සිට 10 දක්වා ඇස්තුමේන්තුගත අගයක් ගැනීම තුළින් නිසැකවම, වෙනත් ආහාර ප්‍රභවයක් උදෙසා ආදි මානවයා දිරිමත් කෙරිණි.

මෙලෙස අදින් වසර 12,000 කට පමණ පෙර මුල් බැසගත් කෘෂිකර්මාන්තය සමාජයේ සහ මිනිසුන් ජීවත් වූ ආකාරයෙහි පැහැදිලි වෙනසක් ඇති කළ අතර එහි ක්‍රමානුකූල වර්ධනය “නව ශිලා විප්ලවය” ලෙස හැදින්වේ. මානවයාගේ පරිණාමයේ සිට අනුගමනය කරන ලද සාම්ප්‍රදායික දඩයම්-එකතු කරන්නන්ගේ ජීවන රටාව, ස්ථිර ජනාවාස සහ විශ්වාසනීය ආහාර සැපයුම තුළින් ක්‍රමයෙන් ගිලිහී ගියේ ය. කෘෂිකර්මාන්තයෙන්, නගර සහ ශිෂ්ටාචාර වර්ධනය වූ අතර, ඉල්ලුමට සරිලන පරිදි භෝග සහ සතුන් වගා කළ හැකි නිසා, වසර 10,000 කට පෙර මිලියන පහක පමණ වූ ගෝලීය ජනගහනය වර්තමානයේ බිලියන හතකට වඩා වැඩි වීමේ පළමු පියවර ලෙස ද නවශිලා විප්ලවය අර්ථ දැක්විය හැකි ය. විශේෂයෙන් ම මුල් කෘෂිකාර්මික ජනාවාස හා ස්ථිරවාසීතාවය කරණ කොටගෙන, මානවයා ලද විවේක සුවය විවිධ විනෝදාංශ හා නව අත්හදාබැලීම් සිදුකිරීමට හේතුප්‍රත්‍යය විය.

නමුත්, ලෝකයේ විවිධ ප්‍රදේශවල ගොවිතැන් කිරීමට මිනිසුන් පෙළඹවූ තනි සාධකයක් හෝ සාධකවල එකතුවක් පිළිබද ඒකගතාවක් වර්තමානයේ දීත් හදුනාගැනීම අසීරු ය. නිදසුනක් වශයෙන්, පෙරදිග කලාපයේ, පසුගිය අයිස් යුගයේ අවසානයේ ඇති වූ දේශගුණික විපර්යාසයන් ධාන්‍ය වර්ග වැනි වාර්ෂික ශාක සඳහා අනුග්‍රහය දක්වන සෘතුමය තත්ත්ව පැවති බව විශ්වාස කෙරේ. නැඟෙනහිර ආසියාව වැනි ප්‍රදේශවල ස්වභාවික ආහාර සම්පත් මත පීඩනය වැඩිවීම නිසා විකල්ප විසඳුම් සෙවීමට මිනිසුන්ට සිදු වූවා විය හැකිය.

මුල් කෘෂිකර්මය: සම්භවය

කිසිවිටෙකත් කෘෂිකර්මයේ නැගීම හුදකලා, සරල හෝ ක්ෂණික ඇරඹුමක් වූයේ නැත. ඉතිහාසයේ විවිධ කාලවලදී විවිධ භුගෝලීය කලාප ඇසුරේ විවිධ ශාක එකිනෙකට ස්වාධින ක්‍රියාවලියක් ලෙස ගෘහාශ්‍රිතකරණය කර ඇත. මීට වසර 10,000 සිට 15,000 දක්වා කාලයකට පෙර, මිනිසුන් ස්වභාවධර්මය ඇසුරේ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා හැඩගස්වා ගැනීමට පටන් ගත් අතර කෘෂිකර්මාන්තය පෘථිවිය වටා විවිධ ස්ථානවලින් මතු විය. එය ස්වාධීනව මතු වූ අතර මෙසපොතේමියාව, චීනය, දකුණු ඇමරිකාව සහ උප සහරා අප්‍රිකාව වැනි විවිධ ස්ථාන වලින් ව්‍යාප්ත වූ බව විද්වත් මතයයි. කෘෂිකර්මාන්තයේ උපත බොහෝ විට නව ශිලා විප්ලවය ලෙස හඳුන්වනු ලබන්නේ එය නව ශිලා යුගයට සමපාත වන බැවිනි. නව ශිලා යුගයට එම නම ලැබී ඇත්තේ පැලියොලිතික් යුගයට හෝ මධ්‍යශිලා යුගයට වඩා ශිලාමෙවලම් වඩාත් සිනිඳු හා පිරිපහදු කළ බැවිනි. මෙම මෙවලම් බොහොමයක් මුල් කෘෂිකර්මාන්තයට පහසුකම් සලසා ඇත. එමෙන් ම නවශිලා යුගයට අයත් ලෙස සැලකෙන ශිලාමෙවලම් බොහෝමයක්, රළු පොළොව සමග ඝට්ටනය වීමට තරම් දැඩි බවකින් යුක්ත වීම, මානවයාට පොළොව කොටා පස පෙරලා කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමට සානුබල ලබාදුනි.

රූපය 1- ක්‍රි.පූ.5 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.පූ. 4 වැනි සියවස දක්වා අයිබීරියානු ජනාවාසයක් ලෙස සැලකෙන ඇල්කසස්හි බැස්ටිඩා (Bastida of Alcusses) හි හමු වූ මුල් කෘෂිකර්මයට අදාල මෙවලම් (උපුටාගැනීම- Wikimedia Commons)
රූපය 1- ක්‍රි.පූ.5 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.පූ. 4 වැනි සියවස දක්වා අයිබීරියානු ජනාවාසයක් ලෙස සැලකෙන ඇල්කසස්හි බැස්ටිඩා (Bastida of Alcusses) හි හමු වූ මුල් කෘෂිකර්මයට අදාල මෙවලම් (උපුටාගැනීම- Wikimedia Commons)

ශාක හා සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම ඔවුන්ගේ බාහිර ස්වරූපයෙන් මෙන්ම ජානමය වෙනස්කම් ඇති කළේය; ජීවියෙකු වනරූපී හෝ ගෘහාශ්‍රිත වූවෙක් ද නැති ද යන්න තීරණය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම එවැනි බාහිර හෝ ජානමය වෙනස්කම් පැවතීම හෝ නොපැවතීම පදනම් කරගෙන ය. එවැනි සාක්ෂි මත පදනම්ව, දඩයම් කිරීම සහ එක්රැස් කිරීමේ සිට කෘෂිකර්මාන්තය දක්වා වූ පැරණිතම සංක්‍රමණයන්ගෙන් පළමුවැන්න ලෙස නිරිතදිග ආසියාවේ අදින් වසර 14,500 ත් 12,000 ත් අතර කාලසීමාවක් ලෙස හඳුනාගෙන ඇත. පුරාශිලා යුගයේ අවසානයේ සිට මුල් පශ්චාත් ග්ලැසියර කාලය දක්වා වාසය කළ සහ ඔවුන්ගේ පූර්වගාමීන්ට වඩා කුඩා ශිලාමෙවලම් (ක්ෂුද්‍ර ශිලාමෙවලම්) භාවිතා කළ අභිපුරාශිලා (Epipalaeolithic) යුගයට අයත්  ජනයා ලෙස හැඳින්වෙන කණ්ඩායම් විසින් එය ක්‍රියාත්මක කරන ලදී. ලෙවන්ට් හි පිහිටි අභිපුරාශිලා සංස්කෘතියක් වන නටුෆියන්වරු (Natufian) සතුව ශිලාමය දෑකැත්ත තිබූ අතර කැළෑ බාර්ලි (Hordeum spontaneum) වැනි බොහෝ ශාක බහුලව ලෙස එකතු කරන ලදී. නැඟෙනහිර සශ්‍රීක චන්ද්‍රවංකයේ (Fertile Crescent), ගැසල් (Gazella species) සහ වල් එළුවන් සහ බැටළුවන් දඩයම් කළ අභිපුරාශිලා ජනයා, පශු සම්පත් ලෙස එළුවන් සහ බැටළුවන් ඇති කිරීමට පටන් ගත් නමුත් ගැසල් සතුන් ඒලෙස හීලෑ නොකළේ ය. මේ අනුව අදින් වසර 12,000- 11,000 පමණ වන විට බොහෝ ශාකවල ගෘහාශ්‍රිතකරණය කරන ලද ආකෘති දිස් වූ අතර, අදින් වසර 10,000 පමණ වන විට ගෘහාශ්‍රිතකරණය කරන ලද සතුන් ලොව විවිධ ප්‍රදේශවල පෙනී සිටියේ ය. පැරණි ලෝකයේ වෙනත් තැන්වල පැරණිතම කෘෂිකර්මාන්තය පිළිබඳ පුරාවිද්‍යාත්මක වාර්තාව අප්‍රසිද්ධ නමුත් අදින් වසර 8500-8000 වනවිට මෙනේරි (Setaria italica සහ Panicum miliaceum) සහ සහල් (Oryza sativa) නැගෙනහිර ආසියාවේ ගෘහාශ්‍රිතකරණයට ලක් වී තිබිණි. අමරිකානු මහද්වීපය සැලකූ විට, ස්කොෂ් (Cucurbita pepo සහ C. moschata) ගෘහාශ්‍රිත ස්වරූපයෙන් දකුණු මෙක්සිකෝවේ සහ උතුරු පේරු හි අදින් වසර 10,000-9000 පමණ දක්වා කාලයේ දී ස්ථාපිත විය. ඉන්පසුව අදින් වසර 5000-3000 පමණ වන විට නැගෙනහිර උතුරු ඇමරිකාවේ සහ නිරිතදිග එක්සත් ජනපදය බවට පත්වන ආදිවාසී ජනතාව කෘෂිකර්මාන්තයට යොමු වෙමින් සිටියහ. සාරාංශයක් ලෙස, ශාක හා සත්ත්ව හීලෑ කිරීම සහ එබැවින් කෘෂිකර්මාන්තය විවිධ ස්ථානවල සිදු කරන ලදී, ඒ සෑම එකක්ම අනෙකාගෙන් ස්වාධීන විය.

රූපය 2- මුල් කෘෂිකාර්මික මධ්‍යස්ථානවල පැතිරීම
රූපය 2- මුල් කෘෂිකාර්මික මධ්‍යස්ථානවල පැතිරීම

දඩයම් කිරීම හා ආහාර එකතු කිරීමට සිදුවූයේ කුමක් ද?

ව්‍යුහ විද්‍යාත්මකව නූතන මානවයා අදින් වසර 45 000- 50 000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටව යන තෙක්, ආහාර රැස් කිරීම හෝ ආහාර සෙවීම අවසාන ග්ලැසියර යුගයේ අවසානය දක්වා එනම් ආසන්න වශයෙන් අදින් වසර 12 000ක් පමණ වන තෙක් ඔවුන්ගේ සංස්කෘතියේ ආධිපත්‍යය දැරීය. මෙකී දඩයම්කරුවන් හා අන්න ගවේෂකයින් බහුල සමාජයක සාමාජිකයින් ක්‍රියාශීලී ජීවන රටාවන් සහ විවිධ මස් සහ ශාක නිෂ්පාදන වලින් ලබාගත් පුළුල් පරාසයක ප්‍රෝටීන, මේද සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු විවිධ ආහාර වලින් ප්‍රතිලාභ ලැබූ බව ඔවුන්ගේ අස්ථි අවශේෂ ආශ්‍රයෙන් සනාථ වී ඇත. තවදුරටත් ඔවුන් හෝමෝ ගණයේ සංස්කෘතික පරිණාමයට අනන්‍ය වූ ආහාර සෙවීම, දඩයම් කිරීම සහ ආහාර සැකසීම හා සම්බන්ධ සම්පත් සහ මෙවලම් තාක්ෂණයන් ද බෙදා ගත්හ. කෙසේ වෙතත්, මෙම පුද්ගලයින්ම ආහාර ගබඩා කිරීමට නොහැකි වීම, දඩයම් කිරීමේ අන්තරායන් සහ නව ආහාර ප්‍රභවයන්ට අනුවර්තනය වීමේ අවශ්‍යතාවයට හේතු වන සෘතුමය වෙනස්කම් වලින් පීඩා විදින ලදී. මේ අනුව අදින් වසර 4500 සිට 12 000ක අතර කාලයේ දී ලොව එකිනෙකට ස්වාධීන ප්‍රදේශ කීපයක කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් ආහාර සුරක්ෂිතතාවය හා ආහාර සෙවීම හා සම්බන්ධ අවදානම සහ අවිනිශ්චිතතාවය අවම කරගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

බොහෝ දඩයම් කරන්නන් මුලින් මිශ්‍ර ආර්ථිකයන් අනුගමනය කළ අතර එමඟින් ඔවුන්ගේ දඩයම්-එකතු කිරීමේ ජීවන රටාවට ඇතැම් භෝග හෝ පශු සම්පත් එකතු කළහ. කෘෂිකර්මාන්තයට සංක්‍රමණය වීමට ප්‍රධාන සාධක කිහිපයක් බලපාන්නට ඇත. මෙම ප්‍රගතිය ආහාර නිෂ්පාදනයේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය වූ අතර ගොවිතැනට පහසු සංක්‍රමණයක් ඇති කළේය. එම කරුණු පහත පරිදි වේ,

  • සම්පත් (වන ශාක විශේෂ, සත්ව ගොදුරු) අඩු වීමත් සමඟ දඩයම් කිරීම සහ එකතු කිරීම ආර්ථික වශයෙන් අඩු ප්‍රතිලාභයක් බවට පත් විය.
  • අවසාන ග්ලැසියර කාලයේ දී දේශගුණික විපර්යාස හේතුවෙන් ශාක හා සතුන් නව පරිසරයකට සංක්‍රමණය වීම.
  • ආහාර සපයන්නන් විසින් ශාක බීජ එකතු කිරීම, ආහාර සැකසීම සහ ගබඩා කිරීමේ තාක්ෂණයන් දියුණු කිරීම.
  • ද්‍රව්‍යමය සම්පත් ඒකරාශී කිරීම (මෙවලම් හා ආහාර), දරුවන් ඇතිදැඩි කිරීම යන කරුණු සංචාරක ජීවන රටාවක් වෙනුවට ස්ථිරවාසීතාවය දිරිමත් කිරීම.

කෘෂිකර්මාන්තය ලෝක ව්‍යාප්ත යැපුම් ක්‍රමය වන නමුත්, තවමත් ප්‍රජාවන් කිහිපයක් ආහාර සොයා ගැනීම පදනම් කරගත් ආර්ථිකයක් රඳවා ගැනීමට කටයුතු කර ඇත. මෙම කණ්ඩායම් දුෂ්කර කාලවලට සූදානම් වීම සඳහා ආහාර ගබඩා කිරීම සහ අවට ආහාර සොයා ගන්නා කණ්ඩායම් සමඟ ඥාති සබඳතා ඇති කිරීම මගින් අවිනිශ්චිතතාවයේ අවදානම අවම කරගැනීමට කටයුතු කර ඇත. මේ සදහා උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ නැමීබියාව යන ප්‍රදේශවල ජීවත්වන කලහාරි හි සැන් ජනතාව දැක්විය හැකි ය. මෙම දුෂ්කර භූගෝලීය ප්‍රදේශ තුළ, සැන් ගෝත්‍රික මිනිසුන් වනසතුන් දඩයම් කිරීමෙන් සහ විවිධ මුල් සහ අල එකතු කිරීමෙන් වර්තමානය දක්වාම නොනැසී පැවත ඒ. කෙසේ වෙතත්, මෑතකදී මෙම කණ්ඩායම්වල ආර්ථික පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ ඔවුන්ට අයත් පාරම්පරික භූමි ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන්, හා ගොවිබිම් ආක්‍රමණය හේතුවෙනි.

කෘෂිකර්මාන්තයේ මූලාරම්භය පිළිබඳ න්‍යායේ වර්ධනය

මානව විශේෂයක් ලෙස අපගේ පැවැත්මෙන් 95% කට වඩා වැඩි ප්‍රමාණයක මූලික යැපුම් උපාය මාර්ගය වූයේ දඩයම් කිරීම සහ රැස් කිරීම ය. වගා කරන ලද ආහාර නිෂ්පාදනයට වඩා මැනවින් හිතකර ලෙස පෙනෙන මෙම සාර්ථක උපාය මාර්ගය අත්හැරීමට මිනිසුන් පෙලඹවූයේ කුමන සාධකය ද? එය ඒකපාර්ශවීය විය නොහැකි ය, බොහෝවිය බහුපාර්ශවීය කරුණු සම්පිණ්ඩනයෙන් මානවයා එතැනට යොමු කළා විය හැකි ය. එනම්, ස්වාභාවික (දේශගුණික විපර්යාස, වන සත්තව විශේෂ හිඟකම සහ ඒවා ආරක්ෂා කිරීමට දරන උත්සාහය, වැඩිවන ජන ඝනත්වය) හෝ සංස්කෘතික (දරුවන් ඇති දැඩි කිරීම සඳහා කැමැත්තක් දැක්නීවම, ආහාර එක්රැස් කිරීම, සමුච්චය කිරීම හරහා ගොඩනැංවෙන සමාජ බලය වෙත ආකර්ෂණය වීම) යන සාධක කිහිපයක් විද්වතුන් විසින් යෝජනා කර ඇත. මේ සදහා දායක වන සාධක කුමක් වුවත්, ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු වූ අතර, මුලදී යැපුම් මාර්ග දෙක ද්විත්ව උපාය මාර්ගයක් ලෙස (සමහර හුදකලා මානව කණ්ඩායම්වල තවමත් අඩුවැඩි වශයෙන් පවතී) භාවිතයේ පවත්වා ගෙන යන ලදී.

ගෘහාශ්‍රිතකරණය යනු මානව කෘෂිකාර්මික නිකේතනවලට අනුවර්තනය වීම සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලියක් ලෙසත්, එම ක්‍රියාවලියේ යම් අවස්ථාවක දී කැපී පෙනන ලෙස මානව මැදිහත්වීමක් දර්ශනය වන ක්‍රියාකාරකමක් ලෙසත් අර්ථ දැක්වේ. ගෘහස්ථකරණය හඳුනාගැනීමේ නිර්ණායක ශාක හා සතුන් සඳහා සැලකිය යුතු ලෙස වෙනස් වේ. මෙකී තෝරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ශාකවලට ඉතා ඉක්මනින් වෙනස් රූප විද්‍යාත්මක වෙනස්කම් පෙන්විය හැකි අතර, ප්‍රජනන කාලය වැඩි වීම නිසා සතුන් එවැනි වර්ධනයන් ඉදිරිපත් කිරීමේදී ඉතා මන්දගාමී වේ. ශාක ගෘහාශ්‍රිතකරණය සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි පැමිණෙන්නේ ශාක රූප විද්‍යාව, බීජ හැඩය, බීජ ප්‍රමාණය, පරාග ව්‍යුහය සහ ශාක සැකසීමට භාවිතා කරන මෙවලම්වල වෙනස්වීම් මගිනි. බොහෝ අවස්ථාවන්හීදී, ශාක ගෘහාශ්‍රිතකරණය සඳහා සාක්ෂි පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි වන අතර, ගෘහාශ්‍රිත විශේෂ පැහැදිලිවම ඔවුන්ගේ මුල් වනගහනයන්ගෙන් වෙනස් වේ. ගෘහාශ්‍රිතකරණයේදී සිදු වූ බොහෝ වෙනස්කම් චර්යාත්මක වන අතර රූප විද්‍යාත්මක නොවන බැවින් සත්ව හීලෑ කිරීම සඳහා සාක්ෂි තහවුරු කිරීම වඩා දුෂ්කර ය. කෙසේ වෙතත්, දිගු කලක් තෝරාගත් අභිජනනයෙන් පසුව, සතුන් ගෘහාශ්‍රිතකරණයට අදාළ අස්ථි වෙනස්වීම් පෙන්විය හැකිය.

කෘෂිකාර්මික යැපුම් සංවර්ධනය පිටුපස ඇති මානව සංජනනය විද්වතුන් විසින් බොහෝ කලක් තිස්සේ පර්යේෂණ පවත්වා ඒවා පිළිබද විදග්ධ වාදවිවාද ගොඩනගා ඇත. ප්‍රධාන න්‍යායන් දෙකක් ලෙස දේශගුණික විපර්යාස සහ ජන ඝනත්වය වැඩි වීම බොහෝ දුරට සාධාරණ හේතූන් ලෙස ගිණිය හැකි ය. මානවයාගේ සංස්කෘතික සංවර්ධනයට දේශගුණික විපර්යාසවල බලපෑම් වසර ගණනාවක් තිස්සේ විවාදයට භාජනය වී ඇති මාතෘකාවකි; කෙසේ වෙතත්, මානවයාගේ කෘෂිකාර්මික සංක්‍රාන්තිය පිළිබඳ වඩාත්ම පිළිගත් පැහැදිලි කිරීම නම්, වඩාත් ස්ථාවර දේශගුණයක් ගොවිතැනේ මූලාරම්භයට පහසුකම් සැලසූ බවයි. මීට අමතරව, දේශගුණික විපර්යාස සහ මිනිසුන් දඩයම් කිරීම ආහාර ප්‍රභවයක් ලෙස භාවිතා කරන ලද වනසතුන් වඳ වී යාමට හේතු වන්නට ඇත. මෑතකාලීනව සිදුවී ඇති විද්‍යාත්මක අධ්‍යයන පෙන්වා දී ඇත්තේ මීට වසර 12 000 කට පමණ පෙර දකුණු ඇමරිකාවේ වනසතුන් වඳවීම්, මානව පැවැත්ම හා දේශගුණික උෂ්ණත්වය ඉහළ යාම සමග සමපාත වූ බවයි.

පුරාවිද්‍යාඥයින් සහ පුරාශාකවිද්‍යාඥයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ මුල් කෘෂිකාර්මික ජනාවාස පිළිබද කතිකාවත හා න්‍යායන් සහ කෘෂිකර්මාන්තයේ මූලාරම්භය පිළිබද දැනුම් පද්ධතිය සැලකියයුතු ආකාරයෙන් වර්ධනය වී ඇත. එනම්, පුරාවිද්‍යාඥයින් සංඛ්‍යාව වැඩි වීම, කැණීම් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති අතර ඒ හරහා අනාවරණය කරගත් තොරතුරු අනුව කෘෂිකර්මාන්තයේ මූලාරම්භය සඳහා යෝජිත මධ්‍යස්ථාන සංඛ්‍යාව කාලයෙන් කාලයට වෙනස් විය. උදාහරණයක් ලෙස වර්ෂ 1971 වන විට සොයාගෙන තිබුණේ කෘෂිකාර්මික මූලාරම්භක මධ්‍යස්ථාන 3 ක් පමණක් වූ අතර, 2010 වන විට එම සංඛ්‍යාව අවම වශයෙන් කෘෂිකාර්මික මූලාරම්භක මධ්‍යස්ථාන 24 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව නිරායාසයෙන් මෙම කෘෂිකාර්මික මූලාරම්භක මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි වන විට, ඒවාට අදාල කාලානුක්‍රමය සහ ගෘහාශ්‍රිත කරන ලද වන විශේෂවල අනන්‍යතාවය පිළිබඳ විවාදය තවත් දළු ලා වැඩෙන්නට විය. කෙසේවෙතත් වර්තමානය දක්වාම නොවෙස්වී ආ මතය වන්නේ ශාක හා සතුන් ගෘහාශ්‍රිතකරණය අතීත මිනිසුන්ගේ ජීවන රටාවේ මූලික වෙනසක් ඇති කළත් එය ඉතා මන්දගාමී ක්‍රියාවලියක් බවයි. උදාහරණයක් ලෙස චීනයේ දී ගෘහාශ්‍රිතකරණය කරන්නට ඇතැයි සොයාගෙන ඇති වී, එම ගෘහාශ්‍රිතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සදහා අවම වශයෙන් වසර 3000ක කාලයක් ගත් බව මෑතකදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ තුළින් තහවුරු වී ඇත.

දඩයමේ සිට ශාක හා සතුන් ගෘහාශ්‍රිතකරණය දක්වා සිදු වූ සංක්‍රමණය විප්ලවයක් ලෙස හැඳින්වුවද, එම සංක්‍රාන්තිය වේගයෙන් සිදු නොවූ අතර ආර්ථිකයේ, දේශපාලනයේ, ජනගහන ප්‍රමාණය වැඩිවීම වැනි ක්ෂණික වෙනස්කම් ඇති නොවූ බවට සාක්ෂි පැහැදිලිව දැක්විය හැකි ය. මීට අමතරව, මෙම අවසාන වෙනස්කම් විවිධ ස්ථානවල සහ විවිධ සංස්කෘතීන් අතර එකම වේගයකින් හෝ වේලාවකින් සිදු නොවුණු බව ද විශ්වාසයෙන් යුතුව පැවසිය හැකි ය.

මුල් කෘෂිකාර්මික බිම්

බොහෝ පර්යේෂකයින්ගේ අදහස් වන්නේ කෘෂිකාර්මික විප්ලවය අවම වශයෙන් ලොව පුරා විවිධ ස්ථාන 11 ක දී, එකිනෙකට වෙනස් කාල පරිච්ඡේද දෙකක් සමඟ ස්වාධීනව වර්ධනය වූ බවයි: ඉන් පළමුවැන්න ලෙස අදින් වසර 12 000- 9000 කට පෙර හොලොසීන අවධියේ හා  (අවසාන අයිස් යුගයේ සිට කාලය) දෙවැනන ලෙස අදින් වසර 7000-4000 අතර මැද හොලොසීන අවධිය ගත හැකි ය. වසර 12000 කට පමණ පෙර, පැලියොලිතික් යුගය අවසන් වී හොලොසීන යුගය ආරම්භ විය. මුල් පැලියොලිතික යුගයේදී, දඩයම්කරුවන් ශාක වගා කිරීමට උත්සාහ කර ඇතත්, ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූයේ ආන්තික සහ වේගවත් දේශගුණික විචලනයන් විසින් උරුම කර දෙනලද කටුක දේශගුණික තත්ත්ව නිසාවෙනි. හොලොසීන යුගය ආරම්භ වීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යාම, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම සහ පරිසර පද්ධති නැවත සකස් කිරීම සිදු වියෙන් ගොවිතැනට සුදුසු උණුසුම් පරිසරයක් නිර්මාණය විය. එනම් ක්‍රමයෙන් උණුසුම් වූ හොලොසීන‍ෙය් වූ කාබන්ඩයොක්සයිඩ් බහුල පරිසරය ගොවීන්ට අවශ්‍ය බෝග සාර්ථකව වගා කිරීමට ඉඩ සලසා දිණි.

රූපය 3- කෘෂිකාර්මික බිම් ලෝකය පුරා ව්‍යාප්ත වීම
රූපය 3- කෘෂිකාර්මික බිම් ලෝකය පුරා ව්‍යාප්ත වීම

කෘෂිකාර්මික භාවිතය පිළිබද ව වූ තවත් න්‍යාය කිහිපයක් ද විද්‍යාඥයින් විසින් යෝජනා කර ඇත. ඒ අනුව කෘෂිකර්මාන්තයේ දියුණුව පැහැදිලි කරන එක් පුලුල් උපකල්පනයක් නම්, වැඩිවන ජන ඝනත්වය සහ සීමිත ආහාර සම්පත් ප්‍රජාවන් වෙනත් ආහාර නිෂ්පාදන ක්‍රම ගවේෂණය කිරීමට හේතු වූ බවයි. තවත් න්‍යායක් මගින් යෝජනා කරන්නේ ආහාර සුරක්ෂිතතාවය සදහා සානුබල සැපයූ වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ ආශාව විසින් ද අතීත මානවයා වැඩිවශයෙන් ශාක ගෘහාශ්‍රිතකරණයට යොමුකරන්නට ඇති බවයි. කෘෂිකර්මාන්තයේ ආරම්භය සඳහා දේශගුණික විපර්යාස බොහෝ විට ප්‍රධාන උත්ප්‍රේරකයක් විය. මධ්‍යස්ථ උෂ්ණත්වය සහ දේශගුණික ස්ථායීතාවය ගොවිතැන ආරම්භ කිරීමට පහසුකම් සපයන තත්ත්ව නිර්මාණය කළේය. මේ අනුව ආහාර නිෂ්පාදනය විසින් ජනගහන වැඩිවීමක් සහ ඊට සමගාමී ව නගර සංවර්ධනය ද සිදුවිය. කෙසේ වෙතත්, ජනගහනය වැඩිවීම කෘෂිකර්මාන්තයේ අවශ්‍යතාවයට හේතු වූයේද නැතහොත් කෘෂිකර්මාන්තය විශාල ජනගහනයක් ඇති කළේද යන්න තවමත් විවාදාත්මක ය.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ
  7. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 7: නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම
  8. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 8: නූතන මානවයා නවලොව ජනාවාසකරණය කිරීම  
  9. මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වැඩිදුර කියවීම්

  • Lee R, Daly R. The Cambridge encyclopedia of hunters and gatherers. Cambridge, UK: Cambridge University Press; 1999. 1–22.
  • Lieberman D. The story of the human body: evolution, health, and disease. Pantheon Books; 2013. 67–298.
  • Smith B. The emergence of agriculture. New York: Scientific American Library; 1995. 1–208.
  • Rindos D. The origins of agriculture: an evolutionary perspective. Orlando: Academic Press; 1984. 1–285.
  • Barnard A. Anthropology and the Bushman. Oxford: Berg; 2007. 4–7.
  • Campbell BG, et al. Humankind emerging. 9th ed. Boston, MA: Pearson; 2006. 443–4.
  • Diamond J. Guns, germs, and steel: the fates of human societies. W. W. Norton & Company; 2005. 83–292.
  • Conner SE, Kvavadza EV. Modelling late quaternary changes in plant distribution, vegetation and using pollen data from Georgia, Caucasus. J Biogeogr 2009;36: 529–45.
  • Byrd BF. Reassessing the emergence of village life in the Near East. J Arch Res 2005;13:231–90.
  • Metcalf J, et al. Synergistic roles of climate warming and human occupation in Patagonian megafaunal extinctions during the Last Deglaciation. Sci Adv 2016;23-35.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here