ගාල්ල, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹමු

සන්ධ්‍යා කුමාරි නවරත්න මැණිකේ

මධ්‍යම සංස්කෘතික අරමුදල, ‌කොළඹ.

සන්ධ්‍යා කුමාරි නවරත්න මැණිකේ

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ පිවිසුම් දොරටුවෙන් කෞතුකාගාර අභ්‍යන්තරයට ප‍්‍රවිෂ්ට වෙත්ම ධීවර ජනතාව සහ ඔවුන්ගේ සමාජ සන්දර්භය පිළිබඳ නෙත ගැටෙන විස්තරාත්මක ප‍්‍රදර්ශන පුවරුවෙන්ම අභ්‍යන්තර දර්ශන පථය පිළිබඳව අවබෝධයක් ලැබිය හැකි වෙනු ඇත. එහි දැක්වෙන විස්තර මෙසේ ය,

කුඩා දිවයිනක් වූ ශ‍්‍රී ලංකාවේ, මුහුද සහ වෙරළ ආශ‍්‍රිත ව වෙසෙන ජනතාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. සිය දෛනික පරිභෝජන අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් ඔවුහු සාගරයේ ඇති ජෛව සම්පත් උපයෝගි කර ගත්හ. ඒ සඳහා සාගර තරණය කිරීමට ඇවැසි යාත‍්‍රා සහ ආම්පන්න තමන් විසින් ම නිපදවා ගත් අතර ධීවර කටයුතු ප‍්‍රධාන ජීවිකා වෘත්තීය බවට පත් කර ගත්හ. ඒ හා බැඳුණු වත්පිළිවෙත් ඇදහිලි, විශ්වාස, ජීවන රටාවන් සහ ජන වහරක් සහිත උප සංස්කෘතියක් ලෙස ධීවර ජනතාව හඳුනාගත හැකි ය.

සමුද්‍රය සහ ඒ හා බැඳි ජීවිකා වෘත්තීය කොටගත් ධීවර ජනතාවගේ ජීවනනෝපාය රටාව සමග බැඳි සංස්කෘතිය ප‍්‍රතිනිර්මාණය කරමින් ඔවුන්ගේ අතීතාවර්ජන අනාගතයට එක් කරලීමේ අදිටනින් ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය මහජනතාව සඳහා විවෘත ව ඇත.

සමුද්‍ර කෞතුකාගාරය පිහිටි ගොඩනැඟිල්ල

පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ භාණ්ඩ ගබඩා කර තැබීම සඳහා භාවිත කළ බඩු ගබඩා ගොඩනැඟිල්ලෙහි පහත මාලයේ මෙම කෞතුකාගාරය ජනතා ප‍්‍රදර්ශනය සඳහා විවෘත ව ඇත. එය කළු කොටුවත් සූර්ය අට්ටාලයත් අතර ඇති කොටු බැම්මේ ම කොටසකි. මෙම ගොඩනැගිල්ලෙන් ලන්දේසි ජාතිකයින් කොටු බැම්මේ කොටසක් වශයෙනුත් බඩු ගබඩා ගොඩනැඟිල්ල වශයෙනුත් දෙයාකාරයකින් ප‍්‍රයෝජන ලබා ගෙන ඇති බව පැහැදිලි ය. 1670 වර්ෂයේ දී ඉදිකර අවසන් කර ඇති මෙම බඩු ගබඩා ගොඩනැඟිල්ල (පැක් හවුස්) ලන්දේසි වාස්තුවිද්‍යාත්මක ශෛලීන්ට ම අනුගත ව ස්වදේශික ජනතාවගේ ශ‍්‍රමයෙන් නිර්මාණය වී ඇත. දිගින් අඩි 469ක් හා ඇතුළත පළලින් අඩි 40.4 පමණ වන මෙම විශාල ගොඩනැඟිල්ලෙහි කොටු තාප්ප බිත්තිය (Rampart wall) ඉහළ අඩි 4.25 සිට පහළට අඩි 12 පමණ දක්වා ඝණකමක් සහිත වන ලෙස කළුගලින් නිමවා ඇත. ඉදිරිපස හිරිගලින් නිමවා ඇති බිත්තිය අඩි 04.25ක් පමණ වේ. සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය හා සමුද්‍ර කෞතුකාගාරය ජනතාව ප‍්‍රදර්ශනයට විවෘත ව ඇති මෙම ගොඩනැඟිල්ල ද පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැඟිල්ලක් බැවින් කෞතුකාගාරය නැරඹිමේ දී සමුද්‍ර විද්‍යාව, සමුද්‍ර පුරාවිද්‍යාව පිළිබඳ ව පමණක් නොව ගොඩනැගිල්ල පිළිබඳ අවධානය යොමු කිරීම ද වැදගත් වේ.

සමුද්‍ර කෞතුකාගාරයේ අරමුණ

කෞතුකාගාරය යන සංකල්පයෙන් අනාවරණය වන ආකාරයට කෞතුකාගාරයක් එක් අතකින් අධ්‍යාපනික මධ්‍යස්ථානයකි.

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය දකුණු වෙරළාශ‍්‍රිත ධීවර ප‍්‍රජාවේ සංස්කෘතිය සහ ඊට බලපාන ජෛව විද්‍යාත්මක තොරතුරු, භාණ්ඩ, ආදර්ශන එක්රැස් කර සංරක්‍ෂණය කර අධ්‍යයනය, අධ්‍යාපනය සහ ආශ්වාදය සඳහා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම යන විශේෂ වූ අරමුණු අභිමතාර්ථය මුදුන් පමුණුවා ගනිමින් ජනතා ප‍්‍රදර්ශනයට විවෘත ව ඇත.

සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රථමයෙන් ම 1992 වර්ෂයේ මැයි මස 9 වන දින සිට දේශීය විදේශීය නරඹන්නන් සඳහා ආශ්වාදය, දැනුම ගෙන දුන්න ද 2004 සුනාමි ව්‍යසනයත් සමඟ ශ‍්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇත. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ නෙදර්ලන්ත – ශ‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන් ලද මූල්‍යාධාර මඟින් ප‍්‍රතිනිර්මාණය වූ සමුද්‍ර කෞතුකාගාරය 2009 මැයි මස 18 වන දින නැවතත් මහජන ප‍්‍රද්රශනයට විවෘත කිරීමට හැකිවීම විශේෂවූත් ඵලදායිවූත් සත්කාර්යක් ම වනු ඇත.

සමුද්‍ර කෞතුකාගාරයේ තොරතුරු මධ්‍යස්ථානය

පාසල් ශිෂ්‍ය කණ්ඩායම් සඳහා විෂයානුබද්ධ දේශන, චිත‍්‍රපට දර්ශන මඟින් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යාම, එම විද්‍යාර්ථයින්ගේ අවශ්‍යතාව මත පොත්පත් හා අදාල සම්පත් දායකයින් සම්බන්ධ කිරීමත් සමුද්‍ර කෞතුකාගාරයේ තොරතුරු ඒකකයෙන් සිදු කරයි.

සමුද්‍ර කෞතුකාගාරයේ ප‍්‍රදර්ශන මැදිරි

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය සැබැවින් ම දැනුම් ආකරයකි. වෙරළාසන්න ධීවර ප‍්‍රජාවගේ ජීවිකාව සමඟින් සාගරාශ‍්‍රිත සත්ත්‍ව, ශාක ජෛව විවිධත්වයේ අපූර්ව අන්දමින් සිත්හි නොමැකෙන මතකයන් ඉතිරිකර දීමට සමර්ථ ලෙස විශේෂ විධික‍්‍රම අනුගමනය කරමින් ප‍්‍රදර්ශනය කිරීම ප‍්‍රශංසනීය වේ.

කෞතුකාගාරය නරඹන දේශීය විදේශීය නරඹන්නන්ට වයස් භේදයකින් තොර ව සමුද්‍ර කෞතුකාගාරයේ දී අත්දැකීම් රැසක් ලබා ගත හැකි වනු නොඅනුමානයි.

සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රදර්ශන මැදිරි දෙකකින් සමන්විත වේ. 1. සමුද්‍ර මානව විද්‍යා ප‍්‍රදර්ශන මැදිරිය හා 2. සමුද්‍ර ස්වාභාවික විද්‍යා ප‍්‍රදර්ශන මැදිරිය වශයෙනි.

1. සමුද්‍ර මානවවිද්‍යා ප‍්‍රදර්ශන මැදිරිය

වෙරළබඩ කලාපයේ ජීවත්වන මානව ප‍්‍රජාවට කාලාන්තරයක් තිස්සේ මහ සයුර හා බැදුණු අතීතයක් ඇත. ඔවුන්ට බොහෝ දෑ ලබා දෙන්නේ මහා සාගරයයි. එය ඔවුන්ගේ සදාතනික විශ්වාසයයි. එම බැඳීම දැඩි ය. බොහෝ විට වෙරළබඩවාසී ධීවර ජනයා සහ ඒ සම්බන්ධ බොහෝමයක් ජනයා, මහා සාගරය විටින් විට සිදු කරන අකටයුතුකම් එතරම් විශේෂ කර සලක්නේ නැත. එයට හොඳම නිදර්ශනය සුනාමි ව්‍යසනයයි. සුනාමියෙන් ඔවුන්ට අහිමි වූ දේ බොහෝ ය. නමුත් ඔවුන් සියල්ල උපේක්ෂාවෙන් දරාගත් අතර කිසිදු දිනක දී මහ සයුරට දොස් නොකියන බව දැකිය හැකි ය. දෛනික පරිභෝජන අවශ්‍යතා සඳහා මහ සයුර ඔවුන්ට ලබා දෙන ජෛව සම්පත් බොහෝ ය. ඔවුන්ගේ ප‍්‍රධාන ජීවීකා වෘත්තිය ධීවර කර්මාන්තයයි. එ හෙයින් ඔවුන්ට ම ආවේණික ජනවහරක් ඔවුන් සතු ය. ඇදහිලි, වත්පිළිවෙත් විශේෂිත ය. මේ පිළිබඳ අධ්‍යාපනික වශයෙන් විශේෂ වූ දැනුම් සම්භාරයක් ගොනු කොට රචිත ප‍්‍රදර්ශන පුවරු මෙම ප‍්‍රදර්ශන මැදිරි පුරාවට ම දැකගත හැකි ය. අතීතයේ පටන් ම ධීවර ප‍්‍රජාව භාවිත කරන ලද සාම්ප‍්‍රදායික ධීවර යාත‍්‍රා, ආම්පන්න වශයෙන් ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරම් ආදි ජනප‍්‍රිය අන්දමින් භාවිත වන ධීවර යාත‍්‍රා පිළිබඳ බොහෝ තොරතුරු මෙම ප‍්‍රදර්ශන පුවරු වල අන්තර්ගත ය. දැල්ඔරු, මා දැල් ඔරු, ඇං ඔරු, බල ඔරු, පිලා ඔරු, වාරකන් ඔරුව, වල්ලම් ඔරුව, කට්ටුමරම්, තෙප්පම් ආදි නිර්මාණ ශිල්පීය විවිධත්වය භාවිත කරන ආකාරය හා ස්වභාවයන්, කපු හා ගණ නූල් භාවිතයෙන් නිර්මාණය කර ගත් මාදැල්, විසිදැල් පිළිබඳවත් ජා කොටු, කරක ක‍්‍රම පිළිබඳ විශේෂ වූ දත්ත සම්භාරයක් අනාවරණය කරයි. වැලිගම, ම්රිස්ස, අහංගම ආදී ප‍්‍රදේශවල බහුල ව සිදු කරන රිටි මත සිට මාලු බෑම පිළිබඳ ආකර්ශනීය මානව ආකෘති නරඹන්නන්ගේ සිත් සතන්හි නොමැකෙන සටහන් තබන්නට හැකි පරිදි මෙහි ඉදිරිපත් කර තිබීම ප‍්‍රශංසනීයයි.

උක්ත සඳහන් කළ පරිද්දෙන් ම ධීවර ජනයා මහ සයුරට කරන පුද සත්කාර බොහෝ ය. කලපුවල මෙන් ම ගැඹුරු මුහුදේ සිදු කරන ධීවර කටයුතුවල දී ජීවිත අවදානම බෙහෙවින් ම ඇත. ඔවුන්ගේ ශක්තිය වන්නේ ඇදහිලි, විශ්වාස, පුදසත්කාර හා දෙවිදේවතාවුන් ය. ඈත ගැඹුරු මුහුදේ යාත‍්‍රා කිරීමට ප‍්‍රථම ඔරුවේ ප‍්‍රධානියා වන ‘මරක්කලහේ’ විසින් යාත‍්‍රාව පිටත්වීමට සහ වාඩි සෑදීමට අවශ්‍ය සුභ හෝරාවන් හා වතාවත් සිදුකිරීම, වාර්ෂික ව මහ සයුරට අධිපති දෙවිදේවතාවුන් සහ විශේෂයෙන් ම කළු වැදි දේවතා නම් යක්‍ෂ දෙවියන් උදෙසා ද පවත්වන පූජා කර්මයන් හි වතාවන් පිළිවෙල, ගම්මඩු නැටීම, පොල් පිටි පැවැත්වීම, ධීවර තොටුපල ආශි‍්‍රත යාතු කර්ම ආදිය පිළිබඳ දැනුම හා අවබෝධය ලබන්නට නම් සාගර කෞතුකාගාරයට පැමිණිය යුතු බව හැගෙන්නේ විශේෂ වූ දැනුම් සම්භාරයක් එයින් තිලිණවන නිසාවෙනි.

ධීවර ජනයාගේ ජනවහර විශේෂ වේ. ඇතැම් විට ඔවුන්ට ම ආවේණික වේ. අහින, අම්බාව, හම්බාව, අරණියට බානවා, අවුලක් එනවා, මාළු දිය ගානවා, පනවනවා, කරිජ්ජ, මාරියාව, පොක්කලම, කල්ලිය, බාජ්ජ, වලාලය, හීන්බස්සන මුහුද, හෑල්ල, කියනවා, අහන්න බලන්නන් මේවායේ අර්ථ විවරණ ලියා ගන්නත් සමුද්‍ර කෞතුකාගාරයේ මානව විද්‍යා ප‍්‍රදර්ශන මැදිරියේ ම ආකර්ශනීය පරිසරයක් උදා කර ඇත. මෙය බොහෝ විට පාසල් ශිෂ්‍යයන්ගේ විෂය නිර්දේශයන්ට අනුකූලවන සේ බොහෝමයක් තොරතුරු ප‍්‍රදර්ශන පුවරුවල අන්තර්ගත කර ඇත.

අක්කුයොත, ඇනියකොටුව, අත්යොත, අත්වැල, අවල්ඔට්ටුව, බඩන, බඩවන්කුලම, දාමානය, ගොනුබාන, ගෝමායම් මුල්ල, හටකලේ, හේඩාව, හීනමුල්ල, ඉද්දණ්ඩ, කස්කරුව, කටුපොත, මැස්ස, පහකොණ, උඩු තරුව, වාරිය, ඇතුළු තවත් බොහෝමයක් තොරතුරු අහන්න, දකින්න, බලන්න, එ තුළින් බොහෝ දැනුම් සම්භාරයක් ලබන්නට සමුද්‍ර කෞතුකාගාරය සැබැවින්ම විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වනු ඇත.

ඉපිලි වර්ග, දියඅළුව, ගල් ඇවුලූුම, ඇවුලුම්බිලිය, ඉස්සන්කුඩුව, ෆෙන්ඩරය, ගලප්පත්ති කරන කූඤ්ඤ, අතංගුව, ලී කප්පි ආදී ධීවර උපකරණ රාශියක් මෙන් ම සැබෑ සජීව දර්ශනයක් සහිත ඒ චිත්තාකර්ශනීය මුහුදු ජීවිතයේ කතාන්තරය පිළිඹිබු කරන මානව ආකෘති සහිත වු ප‍්‍රදර්ශන අංගනය කෞතුකාගාරය නරඹන බෝහෝ දෙනාගේ වැඩි ආකර්ශනයට නතු වූ ස්ථානය බව සඳහන් කළ හැකි ය.

මේ සියලුු දෑ තුළින් ආශ්වාදය, දැනුම, සතුට, විනෝදය ලබන්නට සමුද්‍ර මානව විද්‍යා ප‍්‍රදර්ශන මැදිරිය දේශීය විදේශීය නරඹන්නන්ට අවකාශය උදාකර දී ඇත.

2. සමුද්‍ර ස්වභාව විද්‍යා ප‍්‍රදර්ශන මැදිරිය

ස්වභාව සෞන්දර්යේ අගතැන් ශ‍්‍රී ලංකාද්වීපය වට වූ සුන්දර මුහුදු තීරයේත් මහා සාගරය අභ්‍යන්තරයෙන් වූ බොහෝ තොරතුරු පිළිබඳ අධ්‍යයනය කරන්නට විද්‍යාත්මක පසුබිමක සිට දැනුම අවබෝධය ලබන්නට මෙම ප‍්‍රදර්ශන මැදිරිය මඟින් විරල වූත් ආකර්ශනීය වූත් විශේෂ පරිසරයක් තුළ ඉඩ ප‍්‍රස්ථාව විවර කර දි තිබේ.

සමුද්‍රය හා සම්බන්ධ ස්වභාවික විද්‍යාත්මක තොරතුරු බොහෝ ප‍්‍රමාණයක් මෙහි ප‍්‍රදර්ශනය වේ. ගං මෝය කලපු ආශි‍්‍රතව උදම් කලාපය මුල් කොට ගෙන නිර්මාණය වී ඇති අධික ජෛව විවිධත්වයකින් යුත් පරිසර පද්ධතීන් වශයෙන් හඳුනාගන්නා කඩොලාන පරිසරයක සජීව දර්ශනයක් නිර්මාණය කර ඇත. සැබැවින්ම එය ආකර්ශනීය එමෙන් ම එයින් ලැබෙන අවබෝධය හා දැනුම් සම්භාරය ද සුළුපටු නොවේ. කඩොලාන පරිසරයක ස්වභාවය, ඒවායේ වර්ධනය, ශ‍්‍රී ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය, කඩොල්, ගිං පොල්, කිරල, ඇටුනා, මල් කඩොල්, බෑරිය, දියඳඟ, ගොන් කඳුර, කටු ඉකිලිය, ආදී කඩොලාන ශාක යන් හි දුර්ලභ ඡායාරූප මෙන් ම ජලාබුජතාව, වෙරළ ආශ‍්‍රිත ව දක්නට ලැබෙන වරා (Caltropis gigantia) බිම් තඹුරු (Ipomoea pescaprae) සූරිය (Thespesia populnea) වැටකෙයියා (Pandanus odoratissimus) බිම් තඹුරු (Ipomoea Pescaprae) ආදී ශාක වර්ග පිළිබඳවත් බොහෝමයක් තොරතුරු සහිත ප‍්‍රදර්ශන පුවරු රාශියක් මෙම ප‍්‍රර්ශන මැදිරිය තුළ දැකගත හැකි ය.

හරිත ඇල්ගී වන උල්වා, හැලිමෙඩා, කීටමෝෆා, කෝලර්පා රැසිමෝසා, කෝලර්පා ටැක්සිෆෝලියා වර්ගත් දුඹුරු ඇල්ගී වන ෆියුකස්, ඩික්ටියෝටා, සාර්ගසුම්, පැඩයිනා වර්ගත් රතු ඇල්ගී වශයෙන් හඳුන්වන ජෙලිඩියම්, ජානියා හා ග්ලැසිලාරියා වර්ග පිළිබඳ විද්‍යාත්මක ව ලියැවුනු වැදගත් ම තොරතුරු සම්භාරයක් ලබා ගැනීමට හැකිවනවා පමණක් නොව දුර්ලභ දර්ශනයන්ගෙන් යුත් බොහෝ දෑ නෙත්පුරා විදගන්නට මෙහි දී ලබා දෙන පිටිවහල පැසසීය යුත්තකි.

මුහුදු කැකිරි (Sea cucumber), මුහුදු ඉකිරි (Sea urchin), (Brittle star) ලෙපාස් (Lepas) ආදී සත්ත්ව නිදර්ශක සහිත වත් ඡායාරූප හා විද්‍යාත්මක තොරතුරු සහිතවත් නිර්මාණය කර ඇති අපෘෂ්ඨවංශින්ගේ වර්ගීකරණය විද්වතුන්ට බෙහෙවින් වටිනා තොරතුරු ලබා දීමට සමර්ත ය.

දර්ශනීයවූත් අධික නිෂ්පාදන ධාරිතාවකින් යුත් කොරල් වර්ග, වර්ධනය වන ආකාරය, ශ‍්‍රී ලංකාවේ කොරල්පර වර්ග, ව්‍යාප්තිය, විනාශ විමට බලපාන හේතුකාරක, කොරල්පරවල කාර්ය හා ප‍්‍රායෝජන පැහැදිලි ව අවබෝධ වන පරිදි ප‍්‍රදර්ශනය කර ඇත්තේ බොහෝ විට පාසල් ශිෂ්‍ය කණ්ඩායම් අරමුණු කරගෙන විය යුතු ය.

කරදිය මෘද්වංගීන් පිළිබඳ තොරතුරු, කහ පාරවා, කෙදි පාරවා, හුරුල්ලා, සූඩයා, ගොඩයා, අලගොඩුවා, බලයා, කෙලවල්ලා, කටුවල්ලා, හබරලියා, පියා මැස්සා, දණ්ඩා, තෙලියා ආදී බොහෝමයක් ආහාරයට ගනු ලබන සුලභ කරදිය මසුන් පිළිබඳ අධ්‍යයනය කිරීමටත් ඒවා නැරඹීමටත් හැකියාව ලැබෙනුයේ සමුද්‍ර කෞතුකාගාරයේ සමුද්‍ර ස්වභාවික විද්‍යා ප‍්‍රදර්ශන මැදිරියේ දී ය.

සැහැසියෝ, වාසුරුවෝ, ගලූවියෝ, රැළයෝ, මුහුදු දියකාවෝ, ගිම්වලයෝ, මහකොණ්ඩ මුහුදු ලිහිණියා ආදී මුහුදු කුරුලුු වර්ග නිල් තල්මසා (Balaenoptera musculus), බ්‍රෑඞ්ගේ තල්මසා, (Balaenoptera edeni), බොරුමිනීවරු තල්මසා (Pseudorea crassidens), මොල්ලි තල්මහා (Megaptera novaengliae), දිග සුඹුමුල්ලා (Trusiop truncates), ජපන් හොට උල් තල්මහා (Mesoplodon ginkgoden), මුහුදු ඌරා (Dugong dugong) ශ‍්‍රී ලංකාවේ හමුවන ක්ෂීරපායි පිළිබඳ තොරතුරු මෙන් ම කරදිය කැස්බෑ විශේෂ 8 අතරින් ශ‍්‍රී ලංකාවේ ජීවත්වන විශේෂ කැස්බෑ වර්ග පහ (ඔලුගෙඩි කැස්බෑවා Caretta caretta) (කොළ කැස්බෑවා Dermochelys coriacea) (දාර කැස්බෑවා Devmochelys coriacea), (බටු කැස්බෑවා Lepidochely coriacea), පොතු කැස්බෑවා Eretmochelys imbricate) බලන්නත් ඔවුන් පිළිබඳ ව විශේෂ අධ්‍යයනයටත් සාගර කෞතුකාගාරයෙන් ලැබෙන පිටිවහල ඉතාමත් අගනේ ය. එ මෙන් ම විශේෂ ය. 2003 වසරේ දී කොළඹ වරාය අසලින් ලබාගෙන පසුව නාරා ආයතනය විසින් වළ දැමිමෙන් පසුව 2008 වසරේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මෙම මැදිරිය ඉහළින් මැදිරිය පුරාවට ම දිවෙන බෲඞ් තල්මසාගේ ඇට සැකිල්ල දුර්ලභ වූත් නොමැකෙන සටහන් තබන්නා වූත් විශේෂ දර්ශනයක් සදාතනික මතකයේ ඉතිරි කරනු ඇත.

සුනාමි ව්‍යසනයෙන් 2004 වර්ෂයේ දි විනාශයට පත් වූ සමුද්‍ර කෞතුකාගාරය සුනාමිය පිළිබඳ ව ආකෘති හා දත්ත පුවරු මඟින් නරඹන්නන්ට දැනුමක් සහ අවබෝධයක් ලබා දීමට ද අමතක කර නැත.

විද්‍යාත්මක ව ලියැවුණු අධ්‍යාපනික පුවරු සටහන්, ස්වභාවික සත්ත්‍ව, ශාක කොටස් සහ විවිධ ආකෘති මඟින් තොරතුරු ඉදිරි පත්කර මුහුදු ජීවිතය අවලෝකනය කරන්නටත් යථෝක්ත සමාජ සන්දර්භය අවබෝධය පිණිස ලැබෙන පිටි බලය සහිත අවකාශීය පරිසරය ගොඩනඟන්නට කෘතහස්ත කාර්ය භාරයක් ඉටු කළ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සියලු ම නිළධාරීන් සහ සේවක මහත්මමහත්මීන් පැසසිමත් ඔවුනගේ අනුපමේය සේවය වෙනුවෙන් ශ‍්‍රී ලාංකේය ජාතීන්ගේ කෘතඥතාව හිමි කර දීමත් යුක්තිසහගත ය.

විශේෂ ස්තුතිය

  • ස්ථානභාර නිළධාරි, ධර්ම ශී‍්‍ර කණ්ඩම්බි මහතාට හා කෞතුකාගාර කාර්ය මණ්ඩලයට
  • සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඡායාරූප ශිල්පි කණිෂ්ක සාරංග මහතාට
  • දත්ත පරිගණකගත කිරීම වෙනුවෙන් ජිනාලී තාරකා අබේරත්නට කතුවරියගේ ස්තූතිය පිරිනැමේ.
--------------------------------------------------------------------------------
මෙම ලිපිය 2010 වසරේ දී පමණ www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ පළමු වරට ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here