ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ කක්කොට්ටන් පරිභෝජන රටාව: විශේෂ අවධානය සීගිරිය පොතාන ගුහාව

මහින්ද කරුණාරත්න1, සංජය බණ්ඩාර කෝනාර2, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරචිචි3, ගාමිණි අදිකාරි3

1පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, මහනුවර, 2භෞතවේද අංශය, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, 3පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.

මුඛ්‍ය පද: කක්කොට්ටා, ප‍්‍රාග්ඓතිහාසික මානවයා, පාරිභෝජන රටාව, පොතාන ගුහාව, පුරාජීව විවිධත්වය

සාරාංශය

ජලජ අපෘෂ්ඨ වංශී සත්ත්ව කාණ්ඩයක් වන මිරිදිය කක්කොට්ටන් ශ‍්‍රී ලංකාවේ තෙත්බිම්, ඇලදොළ, කුඹුරු, වැව්, ගංගා, තෙත් ගල්තලා, ගස්බෙන ආදී තෙත් පරිසර පද්ධති ආශ‍්‍රිත ව ජීවත් වේ. විශේෂ (species) 51කින් පමණ සමන්විත මෙම සත්ත්ව කාණ්ඩයේ කක්කොට්ටන් අතරින් විශේෂ 50ක් දිවයිනට ආවේනික වේ. මෙම විශේෂ 51 ගන 7කට අයත්වන අතර ඒ අතරින් ඝණ (genera) 5ක් ශී‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රාග්ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හී සිටම මානවයාගේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදී අංශයන් සමඟ කක්කොට්ටන් සම්බන්ධ වී ඇති බවට සාක්ෂීන් හමු වේ. සීගිරිය ආශ‍්‍රිත පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගුහාවෙන් හමුවන කක්කොට්ටන් අවශේෂ, ප‍්‍රාග්ඓතිහාසික මානවයා (කාබන් 14 කාලනීර්ණ 3913-3727 BC [Ua 5685] හා 3916-3709 BC [Ua 5686]) හා අධ්‍යනිත අපෘෂ්ඨ වංශිකයින් අතර පැවති සබඳතාවට සාක්ෂියක් වේ. 1991 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සේනක බණ්ඩාරනායක හා ගාමිණී අදිකාරි යන මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ පොතාන ගුහා කැනීමේ සංදර්භ 2, 3, 4, 7, 9, 10, හා 15 ඔස්සේ වාර්තා වු කක්කොටු අවශේෂ සංඛ්‍යාත්මකව 120ක් පමණ වේ. මනාව සුරක්ෂිත වී ඇති අවශේෂ අතරින් විශාල ප‍්‍රමාණයක් ගාත‍්‍රා කොටස් වේ. සෙසු ශරීර අවශේෂයන් අල්ප වන අතර අනෙකුත් ශරීරාංග හායනයට හෝ පරිභෝජනයට ලක්වන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. කක්කොට්ටන් ශ‍්‍රී ලංකාවේ වැදි ජනයාගේ හෝ නුතන මානවයාගේ ආහාර පාරිභෝජන රටාවට බොහෝ දුරට එක්නොවන සත්ත්ව විශේෂයකි. නමුත් පොතාන ගුහාවෙන් හමුවන අවශේෂයන් ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ කක්කොට්ටන් පාරිභෝජනය පිළිබඳ සාධක කියාපායි. වාර්තාවන පිළිස්සුම් ලක්ෂණ සහිත අවශේෂ ආහාර රටාවේ ලක්ෂණ පිළිබිඹුකරයි. පුරාවිද්‍යාඥයන් විසින් පසුගිය දශක 30 ඇතුළත සිදුකළ හඳුනාගැනීම් අනුව මෙතෙක් කැනීම් කොට ඇති ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථාන වලින් කක්කොට්ටන් අවශේෂ හමු වී ඇත. බුලත්සිංහල ෆා-හියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, අලවල පොත්ගුල්ලෙන ආදී ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථාන උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. දළ වශයෙන් සලකා බලන විට අදින් වසර 40,000ක පමණ පෙර සිට මෙම ප‍්‍රාග් ඓතිහාසික සනදර්භයන් තුළින් කක්කොටු අවශේෂ හමු වේ.

පර්යේෂණ ක‍්‍රමවේදය

සීගිරිය අසල පොතාන ගුහාවේ කැනීමෙන් ලද සත්ත්ව අවශේෂ වියලි හා තෙත් හැලීමෙන් වෙන්කර ගැනීම, අංකිත කැලිපරය භාවිත කරමින් අස්ථි මිණුම් දැක්වීම, අන්වීක්ෂ පර්යේෂණය, අස්ථි අවශේෂ පිළිස්සී ඇති ද යන්න බාහිර පෙනුම ඇසුරින් පියවි ඇසින් නිරීක්ෂණය සිදු විය. විශේෂයෙන් ම මෙහි දී පිළිස්සීමෙන් පසුව ඇති වූ වර්ණ පිළිබඳ ව විශේෂ අවධානය යොමුකිරීම හා අංකිත කැමරාවක් භාවිතයෙන් ඡායාරූපමය වාර්තාකරණය ද සිදු විය.

පර්යේෂණයේ දී භාවිත නිදර්ශක

මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් මූලික වශයෙක් විස්තර කරනුයේ සීගිරිය පොතාන ගුහාවෙන් ලද කක්කොටු අවශේෂ පිළිබඳව ය. එම අවශේෂ මූලික අධ්‍යයන වලින් අනතුරු ව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඇති ප‍්‍රාග්ඓතිහාසික සත්ත්ව අවශේෂ එකතුවේ තැම්පත් කොට ඇත.

හැඳින්වීම

ශී‍්‍ර ලංකාවේ වාර්තා වී ඇති මිරිදිය කක්කොට්ටන් විශේෂ සංඛ්‍යාව 51කි (Bahir, 1998; 1999[a]; Bahir & Ng, 2005; Bahir & Yeo, 2005; Bahir & Pethiyagoda, 2006; Ng, 1994; Ng, 1995[a]; Ng, 1995[b] සහ Ng & Tay, 2001) ජලජ අපෘෂ්ඨ වංශී කක්කොට්ටන් ශී‍්‍ර ලංකාවේ සෑම කලාපයක ම ජීවත් වේ. මහුදු මට්ටමේ සිට වඩාත් ම ඉහළ තැනි දක්වා එක ලෙස පැතිර ඇති නමුත් එකිනෙක විශේෂ වෙනස් මුහුදු මට්ටම් වල ද, වෙනස් භූගෝල කලාපයන් වල ද, ඔවුනට ම ආවේණික නිකේතනයන් වලට ද සීමා වී ඇත. මිරිදිය කක්කොට්ටන් ගංගා, වැව්, ඇලදොළ, පොකුණු, කුඹුරු, වගුරු බිම්, දිය සීරාව ඇති ගල්මත, වැසි වනාන්තර වල පිහිටි ගස් බෙන මත ආදී ඉතා පුළුල් පරිසරයක පැතිර ඇත (Bahir, 1999[b]).

ශී‍්‍ර ලංකාවේ වාර්තා වන මිරිදිය කක්කොට්ටන් අතරින් විශේෂ 50ක් දිවයිනට ආවේණික වේ. ඔවුන්ගේ ආවේණික ප‍්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් මෙරට ජීව විවිධත්වය සඳහා මෙම සත්ත්ව කාණ්ඩය බොහෝ සේ දායක වී ඇත. ආවේණික කක්කොට්ටන් බහුතරය ශී‍්‍ර ලංකාවේ තෙත් කලාපයට සීමා වේ (Bossuyt et al., 2004).

ශී‍්‍ර ලංකාවේ ආදිවාසී වැද්දන් තම ආහාරයට කක්කොට්ටන් එකතුකොට ගත්බවට මුලාශ‍්‍රවල හෝ සඳහන්ව නැත. ලාංකේය ජනතාව කෙරෙහි පවතින්නේ ද සම තත්ත්වයක් වේ. එසේ වුව ද දකුණු ඉන්දීය සම්භවයක් ඇති කදුකරයේ වාසය කරන ද්‍රවිඩ ජනතාව කක්කොට්ටන් ආහාරයට ගැනීමට පෙළඹේ : (ධනුෂ්ක සිරිවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන්, 2011). නමුත් කක්කොට්ටන් ආහාරයට නොගත්ත ද එම පරිසරයේ ම වාසය කරන Macrobrachium ගණයට අයත් විශාල ඉදිරි අඬු දරන Palaemonidae මිරිදිය ඉස්සන් (Fernando, 1990) ආහාරයට ගැනීමට ලාංකිකයන් පෙළබී සිටියි.

කකුළුවා

ශී‍්‍ර ලාංකේය ජනතාව කක්කොට්ටන් පරිභෝජනයට නොපෙළඹුන ද කලපු, මෝය, වෙරළ, හා මුහුදේ ජීවත්වන කකුළුවන් සුළභව අනුභව කරයි (Bahir, 1999[b]). සමස්තයක් වශයෙන් ගත්කළ සමකය ආසන්න උණුසුම් වෙරළ තීරයේ බොහෝ කකුළු විශේෂ වාසය කරන අතර උන්ගෙන් බහුතරයක් ආහාරයට එක්කොට ගැනීමට එම කලාපයේ ජීවත්වන ජනතාව අනාදිමත් කාලයක සිට පෙළඹී ඇත. කලපු හා වෙරළතීරයේ ඉතා පහසුවෙන් දඩයම් කළහැකි සත්ත්ව කාණ්ඩයක් වන බැවින් ද, වැඩි ප්‍රෝටීන ඵලදාවක් ලබාදෙන බැවින් ද, මාංශයේ වූ රසවත්භාවය නිසා ද ලොව වසන සියලූ ම ජනකොටස් පාහේ කකුළුවන් අනුභවයට ප‍්‍රියතාවක් දක්වයි.

ප‍්‍රාග් ඓතිහාසික කැනීම්වලින් ලද සත්ත්ව අවශේෂ විශ්ලේෂණයේ දී ක්ෂීරපායි සතුන් 75% කට වැඩි පමාණයක් නියෝජනය කරයි (Deraniyagala, 1992; Karunaratna et al., 2009; Manamendra-Arachchi et al., 2009; Manamendra-Arachchi et al., 2010; Perera, 2010; පෙරේරා, 2009 හා Perera et al., 2009). ගල් ඉබ්බන්, කිරි ඉබ්බන්, පිඹුරන් ආදී උරගයන් 10%ක් පමණ ද, ඉතිරි බහුතරය පක්ෂීන් ද නියෝජනය කරයි (Premaratne et al., 2009 හා පේ‍්‍රමරත්න ඇතුළු පිරිස, 2010). මිරිදිය බෙල්ලන්, ගස්ගොළුබෙල්ලන්, කක්කොට්ටන් වැනි අපෘෂ්ඨ වංශී සතුන්ට අයත් හමුව ඇති කවච කොටස් අනුව ප‍්‍රාග් ඓතිහාසික මානවයා තම අවට පරිසරයෙන් සොයාගත් කුඩා අපෘෂ්ඨ වංශි සතුන් සැලකිය යුතු ලෙස තම ආහාරයට එක් කොටගත් බව පැහැදිලි වෙයි (Karunarathna , et al., 2011) . ෆාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලිලෙන, අළුලෙන, පොත්ගුල්ලෙන, හා පොතාන ගුහා ආශ‍්‍රිත සිදුකළ කැනීම් සාධක උදාහරණ වේ. මහාපරිමාණයෙන් නොවුන ද ප‍්‍රාග්ඓතිහාසික මානවයා තම ආහාරයට මිරිදිය කක්කොට්ටන් එකතුකරගැනීමට පෙළඹී ඇති බවට ලැබී ඇති කක්කොටු සාක්ෂි අනුව පැහැදිලි වේ.

දඩයම හා එකතුකිරීම (hunting and gathering) මඟින් ප‍්‍රාග්ඓතිහාසික මානවයා ආහාර සපයාගැනීම සිදුවිය. පිරිමි පක්ෂය විශාල දඩයම් සොයාගිය අතර ඔවුන්ගේ කාන්තාවන් හා දරුවන් ගුහා අවටින් ගොළුබෙල්ලන්, කක්කොට්ටන් හා ආදී අපෘෂ්ඨවංශීන් මෙන්ම කටුස්සන් ආදී පෘෂ්ඨවංශීන් ද ඊට අමතරව වනයේ වූ ඇට හා ගෙඩි වර්ග එකතුකොට ඔවුන්ගේ කුසගින්න නිවා ගැනීමට පෙළඹෙන්නට ඇත. මෙවැනි කුඩා දෑ එකතුකොට ආහාරයට එක්කොට ගන්නට ඇත්තේ කුසගින්න නිවා ගැනීමට මෙන් ම විනෝදාස්වාදයක් ලබාගැනීමට ද විය හැකි ය. කක්කොට්ටන් වැනි කුඩා සතුන් එකතුකිරීම ආදිය සිදුකරන්නට ඇත්තේ වැඩිහිටියන්ට වඩා ළමුන් වීමට බොහෝ විට ඉඩ ඇත. පරිසරයේ නොයෙක් නිකේතන වල කක්කොට්ටන් වාසය කළ ද ආහාරයට ගතහැකි ප‍්‍රමාණයෙන් විශාල සතුන් කුස ගින්න නිවා ගැනීමට තරම් එක්රැස්කිරීම පහසු කටයුත්තක් නොවන බව සඳහන් කළ යුතු ව ඇත. මෙම කටයුත්ත ළමුන් සිදුකරන්නට ඇතැයි අනුමාන කරනුයේ වැඩිහිටියන් ආහාර රැස්කිරීමේ දී තම කණ්ඩායමට සෑහෙන තරම් රැස්කිරීමට වගකීමෙන් බැදී සිටින නිසාවෙනි.

පොතාන ගුහාවේ කැනීම් කටයුතු සිදුකරන අවස්ථාවක් (1991) (Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Bandaranayake, 1994)
පොතාන ගුහාව – වර්තමාන ස්වභාවය

තෙත් කලාපයේ වූ වැසිවනාන්තර ආශ‍්‍රිත ව මිරිදිය කක්කොට්ටන්ට ජීවත්වීම සඳහා බොහෝ නිකේතන ඇත. එම නිසා ඉහත දක්වන ලද සියලූ ම ගුහා වාසස්ථානවල ජීවත් වූ මානවයින්ට උන් අල්ලා ගැනීමට අපහසු නොවන්නට ඇත. මෙම ශාස්ත‍්‍රීය ලිපියේ මූලික අවධානය තෙත් හා වියලි කලාප අතර පිහිටි අන්තර් කලාපයේ ස්ථානගත වූ පොතාන ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානයෙන් හමු වූ කක්කොටු අවශේෂ පිළිබඳ ව යොමුකරන අතර අනෙකුත් ගුහාවලින් ලද කක්කොටු තොරතුරු ද මීට සමගාමීව පෙල ගසනු ඇත. පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගල් ගුහාව අන්තර් කලාපයේ පිහිටා තිබුණ ද එය වියලි කලාපයට අයත් යැයි ප‍්‍රකාශ කිරීම නිවැරදි වේ (Bandaranayake, 1994). නමුත් මෙම ගුහාවේ සමහර ස්තරවලින් හමුවන Acavus ගනයට අයත් තෙත් කලාපීය පරිසරයන්ට හුරු වූ ගස් ගොළුබෙල්ලන් අනුව පැහැදිලි වනුයේ එම ගුහාව අවට පරිසරය වර්තමානයට වඩා තෙත් පරිසරයක් දැරූ බව ය. පොතාන ගුහාව අවට වූ පරිසරය තෙත් කලාපීය තත්ත්වයේ සිට අන්තර් කලාපීය හා වර්තමානයේ වඩාත් වියලි තත්ත්වයන් දක්වා වෙනස්වන්නට ඇති බව Acavus ගනයේ ගස්ගොළුබෙලි සාදක මත පැහැදිලි වේ. මේ අනුව අදින් වසර 6,000 ක පමණ සිට පොතාන ගුහාවේ ජීවත් වූ ප‍්‍රාග්ඓතිහාසික මානවයා තම ආහාරයට ඉහත දක්වන ලද සියලූ ම පාරිසරික තත්ත්වයන් යටතේ, ගුහාව අවට පරිසරයේ ජීවත් වූ කක්කොට්ටන් එකතුකොට ආහාරයට ගැනීම පිළිබඳ සාක්ෂීන්, ගුහාවේ සංස්කෘතික ස්තර අතර සුරක්ෂිත වී ඇති කක්කොට්ටන්ට අයත් අවශේෂ 120 මගින් පැහැදිලි වේ.

ප‍්‍රතිඑල

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ එවකට අධ්‍යක්ෂක මහාචාර්ය සේනක බණ්ඩාරනායක හා මහාචාර්ය ගාමිණී අදිකාරි ගේ අධීක්ෂණය යටතේ 1991 වර්ෂයේ සිදුකළ පොතාන ගුහාකැනීමේ සංදර්භ 2, 3, 4, 7, 9, 10, 15, මගින් වාර්තාවන සත්ත්ව අවශේෂ සංඛ්‍යාව 40,520ක් ව්. බහුතරය ගෝනා (Cervus unicolor), තිත්මුවා (Axis axis), වල්ඌරා (Sus scrofa), ඕලූමුවා (Mantiacus muntjak), මීමින්නා (Moschiola sp.), හරකා (Bos sp.), කුළුමීමා (Bubulus arnee), ඉත්තෑවා (Histrix indica), මා හම්බාවා (Petaurista philippensis), හැලි වඳුරා (Semnopithecus priam), ඇතුළු ක්ෂීරපායි සතුන් ද, කිරිඉබ්බා (Lissemys punctata), ගල්ඉබ්බා (Melanochelys trijuga), පිඹුරා (Python molurus) ඇතුළු උරගයන් ද, වළිකුකුලා (Gallus lafayetii) වැනි පක්ෂීන් ද නියෝජනය කරයි. Acavus ගණයේ ගස්ගොළු බෙල්ලන් ද බහුලව හමු වේ (Adikari, 1998; අදිකාරි, 2009 හා රණසිංහ, 2009). ගුහාවේ පාංශු වල වූ භෞතික ස්වභාවය අනුව සත්ත්ව අවශේෂ වටා පාංශු ගණ ව තැම්පත් වී පැවතීම සත්ත්ව පුරාවිද්‍යා කටයුතු සඳහා සත්ත්ව අවශේෂ හඳුනාගැනීමේ ක‍්‍රියාවලියට බාධාවක් වී ඇත. සත්ත්ව අවශේෂ තැලීම් හා පිළිස්සීම් වලට දැඩි ලෙස භාජනය වී පැවතීම පොතාන ගුහාවේ ජීවත් වූ මානවයා මෙම සතුන් ආහාරයට ගත් බවට සාධක සපය යි. මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කරනවිටත් සත්ත්ව අවශේෂ වැඩිදුරට අධ්‍යයනය සිදුකරමින් බවතින හෙයින් නුදුරු අනාගතයේ දී ඒ පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා කළ හැකිවනු ඇත.

පොතාන සංස්කෘතික ස්ථරයන්ගෙන් වාර්තා වූ කක්කොට්ටන්ගේ අවශේෂ

සත්ත්ව අවශේෂ අතර කක්කොට්ටන් අවශේෂ සුරක්ෂිත වී තිබීම ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ ආහාර රටාව ගොඩනැගීමේ දී බොහෝ සේ වැදගත් වී ඇත. කක්කොට්ටන් අවශේෂ අතරින් බොහෝමයක් පිළිස්සී ඇති අතර ඒවා සියල්ල පාහේ කුඩා කැබලි වලට කැඞී ඇත. පොතාන මානවයා තම අවට පරිසරයෙන් එකතුකොටගත් කක්කොට්ටන් පුළුස්සා ආහාරයට ගෙන ඇතිබව ප‍්‍රත්‍යක්ෂ ය. කක්කොට්ටන් අවශේෂ කුඩා කැබලිවලට කැඞීමට ප‍්‍රධාන හේතු කීපයක් හඳුනාගත හැකි ය. ක්ෂීරපායි සතුන්ගේ අස්ථිවලට සාපේක්ෂව කක්කොට්ටන්ගේ බාහිර කවච කොටස් ඉතා මෘදු බැවින් ඉතා පහසුවෙන් කැඞී බිදී යා හැකිය. කක්කොට්ටන් පුළුස්සා ආහාරයට ගත් පොතාන මානවයා කක්කොට්ටාගේ මධ්‍ය ප‍්‍රදේශය වූ මාංශ ආහාරයට ගැනීමේ දී පෘෂ්ඨීය හා උදරීය බාහිර කවච කොටස් කඩා දමන්නට ඇත. ගාත‍්‍රා වල මධ්‍යයේ වූ සියුම් මාංශපේශීන් ආහාරයට ගැනීමේ පහසුව උදෙසාත් ගාත‍්‍රාකොටස් තම දත් වලින් හපා කැබලිකරන්නට ඇත.

පුළුස්සන ලද කක්කොට්ටන්ගේ අවශේෂ

වර්තමාන ජනයා කකුළුවන් ආහාරයට ගැනීමේ දී මෙම ක‍්‍රියාව අනුගමනය කරන බැවින් ප‍්‍රාග් මානවයන් අතින් කක්කොට්ටන් අවශේෂ කුඩා කොටස්වලට කැඞී බිදී යන්නට ඇති බව අනුමාන කළහැකිය. ඉහත දක්වන ලද වැසිවනාන්තර ආශ‍්‍රිතව ඇති ප‍්‍රාග්ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමුවන කක්කොටු අවශේෂයන් ද ඉතා කුඩා කොටස්වලට තැලී පොඩි වී හමුවන්නේ ද මෙම හේතුව නිසා වන්නට ඇත.

පොතාන ගුහාවෙන් හමුවී ඇති කක්කොට්ටන් අවශේෂ අතරින් කක්කොට්ටාගේ ඉදිරි ගාත‍්‍රා (cheliped හෙවත් claw) කොටස් බොහෝදුරට කැඞීබිඳී ගොස් නොමැති අතර එය අනෙකුත් ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානවලට ද පොදු ලක්ෂණයක් වේ. කක්කොට්ටාගේ ඉදිරි ගාත‍්‍රා ගණත්වයෙන් වැඩි ශක්තිමත් අවයවයකි. ඒ අනුව මෙම අංග බිද දැමීමට වර්තමාන ජනයා මෙන් ම ප‍්‍රාග්ඓතිහාසික මානවයා ද බිද දමන්නට උනන්දු නොවන්නට ඇත. පොතාන ගුහාවෙන් ලද කක්කොට්ටන් අවශේෂවල උපරිම දිග මිලිමීටර 31.48 වන අතර කුඩාම කොටසේ දිග මිලිමීටර 12.67ක් වේ.

කක්කොට්ටාගේ ඉදිරි ගාත්‍රා – (cheliped හෝ claw) (පරිමාණ රේඛාව මිමි 10කි)

වම් පස කොටස පොතාන ගුහාවේ නව වන සංස්කෘතික ස්ථරයේ ද, දකුණු පස කොටස හත් වන ස්ථරයේ ද හමු වී ඇත

මිරිදිය කක්කොට්ටාගේ පෘෂ්ඨීය කවචය ගණත්වයෙන් අඩුවීම නිසා එය ඉක්මනින් බිඳී යන්නට හේතුවන්නට ඇත. කුඩාකොටස් වලට කැඞීයාමෙන් අනතුරු ව පාංශු අතරින් වෙන්කොට හඳුනා ගැනීමට කැනීම්කරුවා උත්සහා නොගැනීම, ඒවා පශ්චාත් විශ්ලේෂණ කටයුතු සඳහා හමුනොවීමට සෙසු සාධකයක් විය හැකි ය. මෙවැනි හේතූන් නිසා හමුව ඇති අවශේෂ අතර පිට කවච කොටස් දක්නට නොමැතිවීම පොතාන ගුහාවේ මෙන්ම අනෙකුත් ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානයනට ද පොදු වූ ලක්ෂණයකි. මීට අමතරව කක්කොට්ටාගේ බඳ හා උදරීය ප‍්‍රදේශයනට අයත් කවච කොටස් බොහෝ සෙයින් කුඩා හා තුනී බැවින් ඒවා ද පශ්චාත් පර්යේෂණ කටයුතු සඳහා විද්‍යාගාරයට ලැබී නොමැත.

නිගමනය

ශී‍්‍ර ලංකාවේ ආදිවාසී වැද්දන් හා වර්තමාන ලාංකික ජනයා ද කක්කොට්ටන් පරිභෝජනයට නොපෙළඹුන ද මෙතෙක් තෙත් කලාපයේ හෝ වියලි කලාපයේ සිදුකළ ප‍්‍රාග්ඓතිහාසික කැනීම් මඟින් සනාථ වනුයේ ප‍්‍රාග්ඓතිහාසික සමයේ කක්කොට්ටන් පරිභෝජනය සිදුව ඇති බව ය. හමුව ඇති නිදර්ශක සංඛ්‍යාව බොහෝ අවම මට්ටමක පැවතුණ ද ඒවා ආහාරයට ගෙන ඇති බව එහි ඉතිරිව ඇති ලක්ෂණ අනුව පැහැදිලි ය. තම ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථාන වෙත කක්කොට්ටන් රැගෙන එන්නට ඇත්තේ එය ආහාරය සඳහා ම බව ඒ අනුව ප‍්‍රකාශ කළ හැකි ය. ගෙලසුදු මැදි-පිළිහුඩුවන් (Halcyon smyrnensis), දිය බල්ලන් (Lutra lutra) වැනි සතුන් තම ආහාරයට මිරිදිය කක්කොට්ටන් එකතුකරන බැවින් උන් ගුහාව තුළ දී කක්කොට්ටන් ආහාරයට ගත්තේ නම් ඒවායේ ඉතිරිකොටස් ප‍්‍රාග්ඓතිහාසික ගුහා මත පතිත විය හැකි ය. නරියන් (Canis aureus), දිවියන් (Panthera pardus) වැනි සතුන් කක්කොට්ටන් ආහාරයට ගන්නා බැවින් උන්ගේ වසුරු සමඟ එම කක්කොටිටන්ගේ කොටස් පිටවේ. නරියන් හා දිවියන් මානවයන් නොමැති කල ගුහා තුළ ජීවත්වුයේ නම් කක්කොට්ටන්ගේ අවශේෂ උන්ගේ වසුරු සමග තැම්පත් විය හැකිය. මෙවැනි ”සත්ත්ව අවශේෂ විසිරීමේ රටාව” (taphonomy) අධ්‍යයනය කිරීම වැදගත් වේ.

 

නරියෙකු වැනි සතෙක් විසින් කක්කොට්ටන් අහාරයට ගෙන වසුරු හෙලා ඇති අවස්ථාවකි – මෑතකාලීනව මහනුවර උඩවත්ත කැලය ආශ්‍රිතව ගන්නා ලද ඡායාරූපයකි.

කක්කොටු අවශේෂ වසුරු සමග පිටවූයේ නම් ඒවා එන්සයිම වල ක‍්‍රියාකාරීත්වය මගින් බොහෝ දුරට ජීරණය වීම ඔස්සේ තුනී වීම, එමෙන්ම හැපීම නිසා බොහෝවිට කුඩා කොටස්වලට කැඞීබිදී තිබිය හැකි ය. හමු වී ඇති අවශේෂ පිළිස්සීමට භාජනය වී ඇති බැවින් ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජනයට මිරිදිය කක්කොට්ටන් එකතු වුවා ය යන්න පිළිබඳව නිවැරදි තීරණයකට එළැඹිය හැකි වේ. මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනයේ දී පොතාන ගුහාවේ කක්කොට්ටන් අවශේෂ පමණක් භාවිත කළ ද, මෙහි කර්තෘනට අනෙකුත් ප‍්‍රාග්ඓතිහාසික ගුහාවලින් ලද පුරුද්ද ඇති බැවින් කක්කොටු අවශේෂ සතුන් රැගෙන ආයේ ද නැතිනම් මානවයා ආහාර පිණිස රැගෙන ආවේ ද යන්න ප‍්‍රකාශ කළ හැකිය. මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී සරල දත්ත මත ගොනුකරණු ලැබුව ද මාතෘකාවට අදාල ලෙසින් ගැඹුරු අධ්‍යයනයකට ලක්කළ යුතු විෂය ක්ෂේත‍්‍රයක් බව සඳහන් කළ හැකි ය.

කෘතඥතාව

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ යන ආචාර්ය-මහාචාර්ය වරුනට ද, කකුළුවන් පිළිබඳ විශේෂඥ මොහොමඞ් බාහිර්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ ජූඞ් පෙරේරා මහතුනට ද චාමින්ද තිලක් කීර්තිරත්න, අනුරාධ පියදාස, චන්දිම අඹන්වල හා සොනාලි පේ‍්‍රමරත්න මා මිතුරු කැළ ට ද හිමිවිය යුතු ය.

විමර්ශනය කරන ලද ලිපි හා ග‍්‍රන්ථ නාමාවලිය

  • Adikari, G., 1998. Aspect of the Prehistory of the Sigiriya-Dambulla region. Unpub. thesis submitted for the degree of Master of Philosophy (M. Phil.) PGIAR, University of Kelaniya: 443 pp.
  • අදිකාරී, ගා., 2009. පුලතිසිපුර කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විමසුමක්, පුලතිසි වංශය (සංස්. ජයතුංග, නි. පි.), සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය, පිටු 183-192.
  • Bahir, M.M. 1998. Three new species of montane crabs of the genus Perbrinckia (Crustacea, Parathelphusidae) from the central mountains of Sri Lanka. Journal of South Asian Natural History. 3: 197-212 pp.
  • Bahir, M.M. 1999(a). Description of three new species of freshwater crabs (Crustacea: Decapoda: Parathelphusidae: Ceylonthelphusa) from the south-western rain forests of Sri Lanka. Journal of South Asian Natural History. 4: 117-132 pp.
  • Bahir, M. 1999(b). Edible crabs of Sri Lanka. Loris, Journal of the Wildlife and Nature Protection Society of Sri Lanka, 22 (2): 2-9 pp.
  • Bahir, M.M. & P.K.L. Ng. 2005. Descriptions of the new species of freshwater crabs (Crustacea: Brachyura: Parathelphusidae: Ceylonthelphusa, Mahatha, Perbrinckia) from Sri Lanka. In: Yeo, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bulletin of Zoology, Supplement No. 12: 47-75 pp.
  • Bahir, M.M. & D.C.J. Yeo. 2005. A revision of the genus Oziothelphusa Muller, 1887 (Crustacea: Decapoda: Parathelphusidae), with descriptions of eight new species. In: Yeo, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bulletin of Zoology, Supplement No. 12: 77-120 pp.
  • Bahir, M.M. & R. Pethiyagoda. 2006. Conservation of Sri Lankan freshwater crabs. In: C. N. B. Bambaradeniya (ed.), The fauna of Sri Lanka, status of taxonomy, research and conservation. IUCN-The Conservation Union: 77-83 pp.
  • Bandaranayake, S. 1994. Traversing an Archaeological Landscape. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region (eds. Bandaranayake, S. & M. Mogren), The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 9-20 pp.
  • Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D.J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M.M. Bahir, K. Manamendra-Arachchi, P.K.L. Ng, C.J. Schneider, O. van Oomen & M.C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
  • Deraniyagala, S.U. 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo, 831 pp.
  • Fernando, C.H. 1990. Freshwater fauna and fisheries of Sri Lanka. Natural Resources, Energy & Science Authority of Sri Lanka. 444 pp.
  • Karunaratne, G.A., S. Rathnayake, G. Adikari, J. Perera & K. Manamendra-Arachchi. 2009. Small mammal hunt as evident from the Alavala Potgul-lena cave excavation. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 20 pp.
  • Karunarathna, M., S.B. Konara, K.N. Manamendra-Arachchi & G. Adikari. 2011. Snail and crab consumption of prehistoric Alavala Potgul-lena cave man. International Association for Asian Heritage International Conference (07th & 8th April, 2011, Colombo) abstract volume (eds. Manatunga, A., R. Bandara & A. Wijesuriya), 73 p.
  • Manamendra-Arachchi, K.N., J. Perera, W.S. Weliange, A. Thantilage, W. Karunaratne, G. Adikari & N. De Silva. 2009 Checklist of fauna in the excavation of prehistoric Alavala Potgul-lena cave. Hunting for hunter-gatherers at Alavala cave, Symposium on new discoveries from the excavation at Alavala, 3 rd Nov. 2009, abstracts (editor in- chief De Silva, N), Postgraduate instituite of Archaeology, University of Kelaniya: 47-51 pp.
  • Manamendra-Arachchi, K.N., G. Adikari, N. De Silva, J. Weerasinghe, J. Perera, A. Thantilage, P. Vidanapathirana, W.S. Weliange, S.R. Premaratne, P.P. Algiriya, W. Karunarathne, D.J. Hettiarachchi, K. Bandara, S. Iroshana, K.N. Jayawardhana. 2010. Faunal and botanical remains found at Alavala Potgul-lena prehistoric cave site. Abstract volume of the Society of South Asian Archaeology 3rd international congress, 20th and 21nd August 2010, University of Kelaniya, Sri Lanka (eds. Shinde, V. & A. Manatunga), 65 p.
  • Ng, P.K.L. 1994. A note on the freshwater crabs of the genus Spiralothelphusa Bott, 1968 (Crustacea: Decapoda: Brachyura: Parathelphusidae), with description of a new species from Sri Lanka. Journal of South Asian Natural History. 1: 27-30 pp.
  • Ng, P.K.L. 1995(a). A revision of the Sri Lankan montane crabs of the genus Perbrinckia Bott, 1969 (Crustacea: Decapoda: Brachyura: Parathelphusidae). Journal of South Asian Natural History. 1: 129-174 pp.
  • Ng, P.K.L. 1995(b). Ceylonthelphusa scansor, a new species of tree-climbing crab from Sinharaja Forest in Sri Lanka (Crustacea: Decapoda: Brachyura: Parathelphusidae). Journal of South Asian Natural History. 1: 175-184 pp.
  • Ng, P.K.L. & W.M. Tay. 2001. The freshwater crabs of Sri Lanka (Crustacea: Decapoda: Brachyura). Zeylanica. 6: 113-199 pp.
  • Perera, H.N. 2010. Prehistoric Sri Lanka, late Pleistocene rockshelters and an open-air site. BAR International Series, 2142, xvi+268 pp.
  • පෙරේරා, ජූ. 2009. පාහියන්ගල ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ව ආහාර රටාවේ විවිධත්වය. ජාතික පුරාවිද්‍යා සමුළුව ‐ 2009, කොළඹල පිටු 85‐95.
  • Perera, J., G. Adikari & N. De Silva. 2009. Large mammal remains discovered from the Alavala Potgul-lena excavation. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 21 pp.
  • Premaratne, S.R., G. Adikari & K. Manamendra-Arachchi. 2009. Reptile remains from prehistoric Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 18 pp.
  • පේ‍්‍රමරත්න, එස්.ආර්., කැ.න. මනමේන්ද්‍ර-ආරච්චි, ගා. අදිකාරී, ජූ. පෙරේරා, අ. තන්තිලගේ සහ පී. විදානපතිරන. 2010. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කැණීම් මගින් අනාවරණය කොටගෙන ඇති පක්ෂි අස්ථින් පිළිබඳ විමර්ශනයක්. වසර 2010 ජාතික පුරාවිද්‍යා සමුළුවට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය ලිපි එකතුව (ජූලි 7, 8 සහ 9), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ, 2 වන වෙළුම, පිටු 47-56.
  • රණසිංහ, සු. 2009. වියළි කලාපීය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව පරිභෝජනය, සීගිරිය පොතාන ගුහාවේ සත්ත්ව අස්ථි විශ්ලේෂණයක්. අප‍්‍රකාශිත දර්ශනපති නිබන්ධය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය, පිටු ංඩ ූ173ග
  • Seligmann, C.G. & B.Z. Seligmann. 1911. The Vaddas. Cambridge University Press, xx+463 pp.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here