29 C
Colombo
Monday, October 18, 2021

දුහතර කුමරු පිදූ ලෙනගල ලෙන් විහාරය

Must read

කෑගල්ල දිස්ත්‍රික්කය ලෙන් විහාර රාශයකින් යුක්ත පෙදෙසකි. ක්‍රි. පූ. තුන්වන සියවසේ ලංකාවට බුද්ධාගම ලබුණු සමයේ සිටම මෙහි වනගත ලෙන් කටාරම් කොටා පිළියෙල කර  භික්ෂුන් වහන්සේට බවුන් වැඩීමට පිදූ බව ප්‍රදේශයෙන් හමුවන සෙල්ලිපි රාශියකින් පැහැදිලි වෙන කරුණකි. ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් ගොඩබට ආර්යයන් මහඔය, කැලණි ගඟ හා ඒවායේ අතු ගංගා ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගැනීම ලෙනගල, සල්ගල, යටහලෙන, රන්වල, මාම්පිට යන ස්ථානයන්හි ඇති සෙල්ලිපිවලින් හෙළිවන බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පෙන්වා දී තිබේ(සිරිසෝම ඇම්. එච්.- 1990: 6 පිට) වැඩි දෙනෙක් දන්නේ දනකිරිගල, වාකිරිගල, දෙවනගල වැනි ස්ථාන පමණක් වුවත් කවුරුත් දැකබලාගත යුතු හතර කෝරළේ විශාලම ලෙන  තිබෙන පුරාණ  රජමහා විහාරය වශයෙන් ලෙනගල වැදගත් වේ.

ගමන් මඟ

ලෙනගල ලෙන් විහාරය පිහිටා තිබෙන්නේ  සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුගොඩ ඔය නිම්නයේය. පුරාණ බෙදීම් අනුව බෙලිගල් කෝරළයේ නැගෙනහිර කීරවැලි පත්තුවට අයත්ය. හතරකෝරළේ කඳුවැටිවලින් එන දිය දහරින් පෝෂණය ලබන ගුරුගොඩ ඔය කැලණි ගඟේ ශාඛාවකි.  වරකාපොළින් කරවනැල්ල මාර්ගයේ පැමිණ අනතුරුව ගලපිටමඩින් කොටියාකුඹුර මාර්ගයෙන් ගමන් කරමින් විහාරයට ළඟා විය හැකිය. වරකාපොළ නගරයේ සිට ඒ වෙත දුර කි. මී. 15ක් පමණ වේ. නුවර පාරේ නෙලුන්දෙනිය හන්දියෙන් හැරී ගලපිටමඩට පැමිණීමෙන් ද මේ විහාරයට පැමිණිය හැකිය.  මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ බටහිර හෙල්වැටි කලාපයේ කඳුවැටි ආශ්‍රය කරගෙන පිහිටි විහාරයකි (සංඝරතන හිමි, මෙඩේරිගම: 2002 – පිට12) මෙම විච්ඡින්න කඳුවැටි අතිරින් කැලණි ගඟේ සහ එහි ශාඛා ගලාබසී. ඒ අතර නිම්නය සරුසාර කරන අතර විටෙක ගංවතුර තර්ජන ද ඇතිකරයි. මෙම හෙල්වැටි බටහිරින් සීඝ්‍ර බෑවුමකින් ද නැගෙනහිර මඳ බෑවුමකින් ද යුක්ත වේ. ගුරුගොඩ ඔය නිම්නයේ සිට ඉහළට ඇදී යන කඳු ප්‍රාකාරය විහාරයට පිටුපසින් පිහිටි කොණ්ඩගල කන්ද මුදුනේදී ප්‍රදේශයේ උසම ස්ථානය බවට පත්වේ. අඩි 1100ක් උස කඳු මුදුන් කිහිපයක් ම අවට පැතිර තිබේ. ලෙනගල, පහළ  ලෙනගල, පහළ මායින්නොලුව, පරදෙනිය, පල්ලේපැල්පිට, උඩ පැල්පිට, දික්වාන, ආදී ගම්මාන විහාරය වටා පැතිර තිබෙන අතර පුරාණයේ පටන්ම මේ ගම්මානවල කෘෂිකාර්මික ජනතාවක් ජීවත් වූ බවට සාධක පවතී. මේ අතර පිහිටි ගල් පර්වත බහුල උස්බිමක ලෙනගල රජ මහා විහාරය පිහිටා තිබේ.

විහාරයට නුදුරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පරදෙනිය රක්ෂිත වනය දැකගත හැකිය. (විජයවර්ධන, කුසුම්සිරි : 2014, 52 පිට)

අලංකාර ලෙන් විහාරය

ලෙනගල
ලෙන් විහාරය

විශාල පර්වතයක කටාරම් කොටා සකසා ඇති ලෙනගල විහාරය ඉතා සුන්දර තැනකි. එය කෑගල්ල දිසාවේ විශාලම ලෙන් විහාරය වශයෙන් සැලකේ. මේ ලෙන මුලින්ම සකස් කර භික්ෂූන් වහන්සේට පූජා කර ඇත්තේ වළගම්බා රජු බවට ජනප්‍රවාද පැවසුවත් එය ඔප්පු වන ඓතිහාසික සාධක නොමැත.

විහාර මන්දිරය පිහිටි ප්‍රධාන ලෙනට අමතරව කටාරම් කෙටූ තවත් ලෙන හතක් විහාර බිමේ පිහිටා තිබේ. කඳු බෑවුමේ විවිධ උස් මට්ටම්වල  පිහිටි  එම ලෙන් කැලෑවට යටවී පවතින බව අපට දැකගැනීමට ලැබුණි. දැනට භාවිතයට ගන්නේ විහාර මන්දිර ලෙන පමණි.

එච්.සී. පී. බෙල්ගේ 1892 කෑගල්ල පුරාවිද්‍යා වාර්තාවේ ලෙනගල විහාරය පිළිබඳව තරමක් සවිස්තරාත්මක විස්තරයක් සඳහන් වේ:

පිහිටීම සහ දර්ශනීයත්වය අතින් වෙනත් විහාරවලට වඩා මෙය ශ්‍රේෂ්ඨය. කඳු බෑවුමේ පහළ සිට අඩි 100ක් පමණ ඉහළ නැගි පර්වතයකි. එම ගලේ බිම සිට අඩි 55ක් උසින් මුළු වාටිය දිගේම ගැඹුරට කටාරම් කොටා තිබේ. එය එදා බොහෝ වෙහෙසකර කාර්යයක් වූවාට සැක නැත.  ගල්ලෙනෙහි විශාල ඉඩකඩ නිසා එක පෙළට විහාර තුනක් ඉදිකර තිබේ ( Bell, H.C.P.  : 1892 , p 30 ) .

විහාරයේ ගල් කටාරම ඇත්තේ පොළොව මට්ටමේ සිට වැඩි උසකින් නිසා එය කැපීමට එදා ගල්වඩුවා විඳි දුෂ්කරතාව ගැන සිතන විට අප සිත් අදත් පුදුමයට පත්කරවයි. පසුකාලීනව ලෙන් විහාර ගොඩනැගිල්ල ඉදිරිපසින් දෙමහල් කොටසක් ඉදිකර  පොත් ගුලක් තනා තිබෙන අතර එය පෞරාණිකත්වයට යම් හානියක් සිදුවූ අවස්ථාවකි. 1922 දී වේරකේ සිරිනිවාස හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණයක් කළ බව සඳහන් වන අතර මේ පොත්ගුල ඒ කාලෙ හදපු එකක් විය හැකියි. බෙල් සිය වාර්තාව ලියන විය එවැනි නවීකරණයක් සිදුව තිබුණේ නැත.

ප්‍රධාන ලෙන් විහාර ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ අඩි 5ක් පමණ උසැති කළුගල් වේදිකාවක් මතයි. මහා විහාරය, සත්සති විහාරය, සහ චෛත්‍ය විහාරය යනුවෙන් විහාර තුනක් එම ලෙන තුළ සකස් කර තිබේ. මේ විහාරවලට නම් තබා තිබෙන්නේ මෑතකදීය.

ගල්ලෙනෙහි විශාල ඉඩකඩ නිසා එක පෙළට එම විහාර තුනක් ඉදිකිරීමට තරම් අවකාශයක් ලැබී තිබේ. ඒවායේ ප්‍රධාන වශයෙන් වරිච්චි මැටි බිත්ති තිබෙන අතර සමහර තැකන ගලින් ද බැඳ තිබේ. මේ බිත්ති අඩි 27ක් ඉහළ දී නෙරා ඇති ගල්පර්වතවලට යාවේ. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස දිගින් අඩි 66කි. විහාරය වෙන් කරන බිත්ති පර්වතයට සෘජු කෝණාකාරව ඉදිකර තිබේ. එහි වහලයට ඉහළින් ගල් කටාරමට යටින් ගල් සිවිලිමේ පෙරහරක රූ සටහනක් දැක්වේ. එහි වර්ණය මඳක් බොඳවී ගොසිනි. කොඩි අතින් ගත්තෝ සමඟ ඇතුන් පිට යන්නෝද අසුන් පිට යන්නෝද එහි ගමන් කරති. පස්මහල් රථයක ධාතු කරඬුවක් වැඩම කරවති. විහාරයට මෑතකදී තීන්ත ආලේප කළ මුත් වාසනාවකට මෙන් මෙය ඉන් බේරී ඇත. ( Bell, H.C.P.  : 1892 , p 30 ) නමුත් බෙල් 1892 දී දුටු එම සිතුවම පසුකාලීන අලුත්වැඩියාවලදී හෝ ස්වභාවික හේතු නිසා හෝ අද මැකීගොස් තිබේ. එවැන්නක් තිබුණු බවට සේයාවක් වත් හඳුනාගත නොහැකිය.

විහාරයේ ගල් කටාරම ඇත්තේ වැඩි උසකින් නිසා විහාර බිත්ති ද උසින් වැඩිය. බෙල් සඳහන් කරන්නේ 1879- 80 කාලයේ දී මෙහි සිතුවම් සහ මූර්ති අලුත්වැඩියාවට ලක්ව තිබූ බවයි. අද අපට දකින්නට ලැබෙන්නේ ඊටත් පසු කිහිප වරක් අලුත්වැඩියාවට ලක්වූ සිතුවම් සහ මූර්ති ය.

මහා විහාරය පළලින් අඩි 31ක් ද දිගින් අඩි 15ක් ද වේ. උඩරට සම්ප්‍රදායේ සිතුවම් එහි දැකගත හැකි වුවත් ඒවා පසුකාලීනව අලුත්වැඩියාවට ලක්වූ ඒවාය. බොහෝවිට අවුරුදු 100කට පමණ පෙර අලුත්වැඩියාවට ලක්වන්නට ඇත. ඇතුළු විහාර ගැබට පිවිසීමට ඇති කළුගල් උළුවස්ස අගනා කලාත්මක නිර්මාණයකි. සිංහ මුහුණු, කිඹිහි මුහුණක්, පලාපෙති සහ ලියවැල් කැටයම් සහිත එය මහනුවර යුගයෙන් එපිට කාලයකට අයත් විය හැකි බවට මත පළවී තිබේ.

සියලුම බුද්ධ ප්‍රතිමා මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරයි. ලෙන තුළ පිහිටි සැතපෙන පිළිමය දිගින් අඩි 29කි. සැතපෙන පිළිමයට ඉදිරිපස බිත්තියේ මකර තොරණ යට විෂ්ණු දේව ප්‍රතිමාවකි. සැතපෙන පිළිමය පිටුපස දේවාරධානාව දැක්වෙන අගනා සිතුවමක්ද දැකගත හැකිය. ප්‍රතිමාව ඉදිරිපස ඇති පුරාණ මැටි පහන ද උඩරට යුගයට අයත් කළ හැකි වටිනා පුරාවස්තුවකි. දනකිරිගල විහාරයෙන් හමුවූ මෙවැනි මැටි පහන් කිහිපයක් මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

ලෙන් වියන තීරුවලට බෙදා සූවිසි විවරණය ඇඳ තිබේ. ඊට අමතරව නෙළුම් මල් මෝස්තර වලින් ද වියන අලංකාර කර තිබේ.  වම් පස බිත්තියේ හිටි බුදු පිළිමයක් ද දැකගත හැකිය.   දකුණු බිත්තියේ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ ප්‍රතිමා සහිතව තවත් බුද්ධ ප්‍රතිමාවක් ද පිහිටා තිබේ.

මෙම විහාර ගර්භයට යාබදව පිහිටි සත්සති විහාරය දිගින් අඩි 16ක් ද පළලින් අඩි 12ක් ද වේ. මෙහි සත්සතිය මූර්තිමත් කර ඇති නිසා ඒ නම ලැබී තිබේ. මෙම විහාරය පැරණි ලෙනෙහි කළ නූතන ඉදිකිරීමකි. 1892 දී සත්සති විහාරයක් තිබී නැති අතර හිඳි බුද්ධ ප්‍රතිමාවක් තිබූ බව බෙල් සඳහන් කර තිබේ. එකල බිත්ති සරසා තිබී ඇත්තේ ධර්මපාල ජාතක සිත්තම්වලිනි. මෑත අතීතයේ දී කළ  අලුත්වැඩියාවක දී පැරණි චිත්‍ර හා මූර්ති ඉවත්කර සත් සති මූර්ති අඹා තිබේ.

ලෙනගල
බිතුසිතුවම්

ලෙනගල
වියන් සිත්තම්- සූවිසි විවරණය

විහාරයට ඇතුළුවීමට ඇත්තේ පුරාණ කළුගල් උළුවස්සකි. ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ සිංහල උළුවහු කෘතියේ ඒ ගැන වර්ණනා කර තිබේ. එම උළුවස්ස උසින් අඩි 7 අඟල් 2ක් වන අතර පළල අඩි 5 අඟල් 4කි. හරස්කඩය හා උළුවහු කණු දෙක වෙනම ගල්වලින් තනා එකට වද්දා ඇත. උළුවහු කණු දෙකේම පහත කොටසේ ආයත චතුරස්‍ර කොටුවක් තුළ සිංහයකු කැටයම් කර ඇත. ඉදිරිපස කකුල් ඔසවාගෙන සිටින සිංහයාගෙන් ඉහළට යන තීරුවල රූකම් පේළිය. පලාපෙති රටා තුනක් ද ලියවැල් රටාවෙන් ද මෙය සරසා තිබේ. හරස්කඩයේ ද එම මෝස්තරම දිව යයි (ගොඩකුඹුරේ, චාල්ස්: 1982, පිට 10)

මෙහි තුන්වැනි විහාරය තුළ මෑතකදී ඉදිකළ දාගැබක් ද ලෙව්කේ දිසාවගේ නූතන මූර්තියක් ද දක්නට ලැබේ. මෙම විහාරය 1956 දී කළ බව සඳහන් ය(අභයවර්ධන, එච්. ඒ. පී.: 2002 , පිට 66)

ලෙනගල
ගල්උළුවස්ස- චාල්ස් ගොඩකුඹුරට පසුව- 1982

දිගම බ්‍රාහ්මි සෙල්ලිපිය

ලෙනගල රාජමහා විහාරයේ විශාල බ්‍රාහ්මී සෙල්ලිපිය දිස්ත්‍රික්කයේ දිගම සෙල්ලිපිය ලෙස ද හැඳින්වේ. එය පොළොව මට්ටමේ සිට අඩි 30ක් උසින් විහාර ලෙනේ කටාරමට යටින් කොටා තිබේ. අක්ෂර ප්‍රමාණය 70කි.  ලිපියේ කොටසක් විහාරයේ බිත්තිවලට යටවී ඇත. වැසුණු කොටස බතස යනුවෙන් පරණවිතාන නිගමනය කර පරිවර්තනය ඉදිරිපත් කර තිබේ. මෙය කැපී පෙනෙන තැනක කොටා තිබෙන නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැකගත හැකියි.

සෙල්ලිපියේ පෙළ :

අය දුහතර පුත අය ශිව පුත අය දුහතරහ ලෙනෙ මනපදශනෙ නම අගත අනගත චතුදිශ ශගශ දිනෙ

අනුදිමහි අයික පටකෙ බතස නගරසි අයික පටකෙ

එහි අරුත මෙසේයි:

දුහතර කුමාරයාගේ පුත්‍රයා වූ ද සිව කුමාරයාගේ පුත්‍රයා වූ ද දුහතර කුමාරයට අයත් මනාපදස්සන ලෙන පැමිණි නොපැමිණි සිව්දිග  සංඝයාට පූජා කරන ලදී. එක ඉඩම් කොටසක් අනුදි ගමේය. එක කෙටසක් බතස නගරයේය (Paranavithana.  1970: p. 60 )

පළමු පේළියේ විශාල අක්ෂර 47 ක් ඇති අතර තවත් අක්ෂර කිහිපයක් අඩි කිහිපයක් පහළින් පේළි 2 කින් කොටා එක්කර තිබේ. මුළු අක්ෂර සංඛ්‍යාව 70කි. අක්ෂරයක් අඟල් 7 ක් පමණ උස වන අතර පර්වතයේ අඟල් 1 ක් ගැඹුරට කොටා තිබේ. මෙම සෙල්ලිපිය ක්‍රි. පූ. 2-1 සියවසට අයත් ලේඛනයකි. ක්‍රි. පූ. යුගයේ බෙලිගල් කෝරළයේ පැවති දුහතර නම් කුමාරයකුගේ ප්‍රාදේශීය පාලනයක් ගැන ඉඟි මේ සෙල්ලිපියෙන් පැවසේ. දුහතර කුමාරයා ගැන සඳහන් සෙල්ලිපියක් කෑගල්ල යටහලෙන විහාරයෙන් ද හමුව තිබේ. මෙහි සඳහන් අනුදි ගම සහ බතස නගරය මේ අවට ක්‍රි. පූ. යුගයේ පිහිටා තිබූ ස්ථාන නාම බව පැහැදිලි වන අතර අද ඒවා හඳුනාගත නොහැකිය.

දාගැබක් සහ බෝධි වෘක්ෂයක් ද ලෙනට නුදුරින් පිහිටා තිබේ. ලෙනට පිටුපසින් ඇදී යන්නේ කඳුවැටියට බද්ධ වූ වනපෙතයි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

විජයවර්ධන, කුසුම්සිරි  -රජමහා විහාරාරාම, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ,  2014

Paranavithana – Inscriptions of Ceylon  – Vol. 1. Department of Archaeology, 1970

Bell, H.C.P. – Report On The Kegalle District – 1892,  reprint 1990 Department of Archaeology

සිරිසෝම, ඇම්. එච්. – ශ්‍රී ලංකාවේ පැරණි බ්‍රාහ්මිය සෙල්ලිපි – අභිලේඛන, සංස්. විජේසේකර, ආචාර්ය නන්දදේව, පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථ මාලා දෙවන වෙළුම,  1990

සංඝරතන හිමි, මෙඩේරිගම- කෑගල්ල භූ විද්‍යාත්මක පසුබිම– කෑගලු විත්ති සමාජසංස්කෘතික විමර්ශන, සංස්. ජී. ආර්. ගුණවර්ධන බණ්ඩා, ඊ. ඒ. ඒ. එදිරිසිංහ, කෑගල්ල දිසාපති කාර්යාලය 2002

ගොඩකුඹුරේ, චාල්ස් -සිංහල උළුවහු , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ 1982

අභයවර්ධන, එච් ඒ. පී. – සබරගමුව ප්‍රවේණිය, සබරගමුව සංවර්ධන බැංකුව 2002

සේයාරූ- කුසුම්සිරි විජයවර්ධන

 

 

 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X