ප‍්‍රාග් ඓතිහාසික කැනීම් මගින් අනාවරණය වූ පක්ෂි අස්ථි පිළිබඳ විමර්ශනයක්

සොනාලි රංගිකා පේ‍්‍රමරත්න1, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි2, ගාමිණී අදිකාරී1, ජූඩ් පෙරේරා3, අර්ජුන තන්තිලගේ1, පී. විදානපතිරණ1

1 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, 2 කළමනාකාර භාරකරු, වනජීවී උරුම භාරය, 3 කැණීම් හා කෞතුකාගාර අංශය, ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

සාරාංශය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව අධ්‍යයනය කිරීම තුළින් ඔවුන්ගේ ආහාර රටාව, දඩයම් ක‍්‍රමෝපායන් ආදිය අධ්‍යයනය කළ හැකිය. සමකයට ආසන්න දූපතක් වූ ශ‍්‍රී ලංකාව වැසි වනාන්තර අතින් පොහොසත් රටක් වේ. මේ නිසාම මෙහි ජීව විවිධත්වය ඉතා ඉහළ අගයක පවතින අතර එය ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීම් මගින් ලද සාධක අනුව ද සනාථ වී ඇත. ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් පසුගිය දශක හතරක් තුළ දී අනාවරණය කොට ගෙන ඇති සත්ව අස්ථි, දත් ඇතුළු කොටස් සංඛ්‍යාව 5,000,000 ඉක්මවා ඇත. මෙම ජීවී අවශේෂ අදින් වසර 40,000ක් තරම් පැරණි වේ. මේ අතරින් බහුතරයක් ක්ෂීරපායි සතුන් නියෝජනය කරන අතර පක්ෂි අස්ථින් ද යම් නියෝජනයක් දරයි. ශ‍්‍රී ලංකාවේ නිරිත දිග හා බස්නාහිර පිහිටි වැසි වනාන්තර ආවරණයේ දකුණු ආසියාවේ පැරණිතම සංස්කෘතික සංදර්භ සහිත ප‍්‍රාග් ඓතිහාසික ලෙන් පිහිටා ඇත. ප‍්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගෙන ඉවත ළූ සත්ව අවශේෂ එම ලෙන් තුළ සුරක්ෂිතව ඇත. ශ‍්‍රී ලංකාවේ දකුණුදිග ප‍්‍රදේශයේ වෙරළබඩ පිහිටි වැලි කදු අතරත් දිවයිනේ තවත් වෙරළබඩ ස්ථාන කීපයකත් මධ්‍ය පැලියොලිතික යුගයට අයත් ප‍්‍රාග් මානව වාසස්ථාන හමුවුව ද එහි මානව හෝ සත්ව අවශේෂ සුරක්ෂිත වී නොමැත්තේ ලවණ අධික පසත්, දැඩි සූර්ය රශ්මියත් ඇතුළු දේශගුණික හේතූන්මත ඒවා විනාශ වී ඇති නිසාය. මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් අප විසින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කැනීම්වලින් අනාවරණය කොට ගෙන ඇති පක්ෂි අස්ථි පිළිබඳව විමර්ශනයක් ඉදිරිපත් කිරීමය.

ප‍්‍රමුඛ පද: ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන, පක්ෂි විද්‍යාව, වළි කුකුළා, හබන් කුකුළා, දඩයම්, පක්ෂි අර්ධ පොසිල

වලි කුකුළා (image courtesy of http://ibc.lynxeds.com/)

පර්යේෂණ ක‍්‍රමෝපායන් සහ පර්යේෂණයට භාජනය කළ නිදර්ශක

මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී පහත දැක්වෙන ප‍්‍රාග් ඓතිහාසික සහ ඓතිහාසික වාසස්ථාන වලින් ලද පක්ෂි අස්ථි අවශේෂ හඳුනාගැනීම සහ විශ්ලේෂණය මගින් ලබාගත් දැනුම උපයෝගී කර ගන්නා ලදී. එනම් බුලත්සිංහල ෆා-හියන්ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, සීගිරිය අසල පොතාන සහ අලිගල ලෙන්, අලවල පොත්ගුල්ලෙන ආදී ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානත් ඊට අමතරව අනුරාධපුර ඇතුළුනුවර ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගයට අයත් සන්දර්භවලින් හමු වූ අවශේෂත් මාතොටින් හමු වූ අවශේෂත් වේ. මේ අතරින් බටදොඹලෙන සහ අලවල කැනීම්වලින් ලද පක්ෂි අර්ධ පොසිල පමණක් මේ ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී පර්යේෂණයට භාජනය කරන ලදී. පක්ෂි අවශේෂ නිරීක්ෂණ කටයුතුවලදී 10×20 විශාලනය සහිත ආලෝක පහසුකම් ඇති අන්වීක්ෂයක් භාවිත කරන ලදී. මිණුම් ලබා ගැනීමේ දී දශම ස්ථාන 2ක් සහිත ඩිජිටල් කැලිපරයක් (digital caliper) භාවිත කරනු ලැබිනි. මෙම පක්ෂි අවශේෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර දත්ත හා විශ්ලේෂණ අංශයේත්, කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය යටතේ සිදු කෙරෙන අලවල පොත්ගුල්ලෙන ව්‍යාපෘතියේත් තැන්පත් කර ඇත. ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් ලද පක්ෂි අවශේෂ සංසන්දනය කිරීමේ දී පහත දැක්වෙන වර්තමාන පක්ෂීන්ගේ අස්ථි භාවිත කරන ලදී. එනම්, ගෘහස්ථ කුකුළා (Gallus sp.), ශ‍්‍රී ලංකා වලිකුකුළා (Gallus lafayetii), උකුසු බකමූනා (Bubo nipzlensis), බොර කෙවුල් බකමූණා (Ketupz zeylonensis), කොවුලා (Eudynzmys scolopzceus), නීල කොබෙයියා (Chalcophaps indica), කළු කපුටා (la‍orvus levzillantii) යන පක්ෂින් වේ. වළි කුකුළා හා හබන් කුකුළාගේ අස්ථි වෙන්කොට හඳුනා ගැනීමේ දී පාදකූර්චය-කූර්චෝපරිය (Tarso-metatarsus) අස්ථියෙහි වූ පොරකටු සංඛ්‍යාව උපයෝගී කර ගන්නා ලදී. පොර කටු යුගල සංඛ්‍යාව මගින් කුකුළා ද කිකිළිය ද යන බව ද හඳුනා ගත හැකිය.

පර්යේෂණයට බඳුන් කළ අස්ථි නාමාවලිය

පාදකූර්චය-කූර්චෝපරිය (Tarso-metatarsus), හස්තකූර්චය-කූර්චෝපරිය ((Carpo-metacarpus), ජංඝා-පාදකූර්චාස්ථිය (tibio-tarsus), ඌර්වස්ථිය/කලවා ඇටය (femur), ප‍්‍රගණ්ඩාස්ථිය (humerus), අන්වරාස්ථිය/අන්වරය (ulna), අරාස්ථිය (radius), කාකතුණ්ඩිකාව (coracoid), අක්ෂකාස්ථිය (=සංයුක්ත වුණු දෙබල් හැඩති අක්ෂකාස්ථි) (furculaqfused clavicles), උරතල අස්ථිය (sturnum), ශ්‍රෝණිය (pelvis), ග්‍රෙවී කශේරුකාව (cervicle vertebra), සංත‍්‍රිකාස්ථිය (syn-sacrum), අංසඵලකය/උරපතු ඇටය (scapula), ඇඟිලි පුරුක/පර්වනය (phalanges), උරස් කශේරුකාව (horacic vertebre), ලලාට අස්ථිය (frontal bone) හා පොර කටුව(spur) යනාදියයි.

හැඳින්වීම

අපගේ අධ්‍යයනය සඳහා යොදා ගැනුණුු පක්ෂි අස්ථි අවශේෂ ශ‍්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයට (මෙසොලිතික=Mesolithic) අයත් වේ. එමෙන්ම ඒවා ප්ලයිස්ටොසීන (Pleistocene) හා හොලෝසීන (Holocene) යන භූ කාල නීර්ණයන්ට අයත් වේ. ඉහත විස්තර කළ අයුරු අදින් වසර 125,000ට කාල නිර්ණය වී ඇති මධ්‍ය පැලියොලිතික (middle Palaeolithic) යුගයට අයත් සන්දර්භ ශ‍්‍රී ලංකාවේ හමු වී තිබුන ද එහි මානව හෝ සත්ව අවශේෂ සුරක්ෂිත වී නොමැත (Deraniyagala 1992; Perera 2007). අසූව දශකය මුල සිට සත්ව පුරාවිද්‍යාඥයින් විසින් ඉහත දක්වන ලද ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීම් මගින් අනාවරණය කරගත් අස්ථි අවශේෂ හඳුනා ගැනීම හා විශ්ලේෂණය කිරීම සිදු කරයි. පුරාවිද්‍යාත්මක අර්ථකථනයේ දී කාලනිර්ණයන් අතිශය වැදගත් වන අතර කාලනිර්ණයන් සහිත ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානයන්ට අපගේ අවධානය පුළුල්ව යොමු කරන ලදී. මේ අතරින් ෆා-හියන් ලෙන, බටදොඹ ලෙන, බෙලිලෙන, අළු ලෙන ආදී ලෙන්වලට අපගේ විශේෂ අවධානය යොමු විය. වසර 2008/2009, 2010 දී කැනීම් සිදුකළ පොත්ගුල් ලෙනෙහි ද පක්ෂි අවශේෂ 112ක් අනාවරණය කොටගෙන තිබුන ද මේ වන තෙක් එහි කාලනිර්ණයන් අප වෙත ලැබී නැති බැවින් පූර්ණ අර්ථකතනයක් කිරීමට එය බාධාවක් වී ඇත (Menike et al., 2009).

බස්නාහිර හා නිරිත දිග කළාපයේ පිහිටි ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර් 500 සමෝච්ඡ රේඛාවෙන් පහළ උන්නතාංශයේ පිහිටයි. මේ අතරින් ප‍්‍රමුඛ ස්ථානය ෆා-හියන් ලෙන, බටදොඹලෙන, බෙලි ලෙන, අළු ලෙන සහ පොත්ගුල් ලෙන සඳහන් කළ හැකිය. මේ ගුහා වලින් අදින් වසර 40,000 ක් පැරණි සන්ධර්භවල සිටම පක්ෂි අවශේෂ හමු වේ (Deraniyagala, 1992; Perera, 2007). ඉහත පැරණි සන්ධර්භවල සිට පැවතෙන මෙම පක්ෂි අර්ධ පොසිල දකුණු ආසියාවෙන් හමුවන පැරණිතම පක්ෂි අවශේෂ ලෙස සඳහන් කළ හැකිය. මේ ශාස්ත‍්‍රීය ලිපියෙන් අපගේ සාකච්ඡාවට ඍජුවම සම්බන්ධ නොවුන ද අඩුම තරමින් අවසාන වසර 50,000 ඇතුළත වූ දේශගුණික තත්ත්වයන් ගොඩනැගීමෙහි ලා මෙම සාධක ඍජුවම ප‍්‍රයෝජනවත් වේ (Kennedy & Deraniyagala 1989; Premathilake & Risberg 2003; Mamendra-arachchi et al., 2009[a]). පක්ෂි අවශේෂ හැරුණු විට එම ප‍්‍රාග් ඓතිහාසික ගුහා අවට ජීවත්වන ජීවීන් ඇතුළු සමස්ත පරිසරය පිළිබඳව අධ්‍යයනය කිරීම තුළින් අපගේ මූලික අරමුණ වන පක්ෂි අවශේෂ අධ්‍යයනයටත් ඒවා අර්ථකතනයටත් විශාල පිටිවහලක් ලැබේ. 1980 සිට ඉහත දක්වන ලද ගුහා කැනීම්වලින් ලද සමස්ත සත්ව අවශේෂ හඳුනාගෙන ඇති අතර ඒවා පහත දැක්වෙන මූලාශ‍්‍රයන්හි සඳහන්ය. එනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. විජේපාලගේ අප‍්‍රකාශිත අචාර්ය උපාධි නිබන්ධයත් මහාචාර්ය ගාමිණී අදිකාරීගේ අප‍්‍රකාශිත දර්ශනපති උපාධි නිබන්ධයත් (Adikari 1998) සඳහන් කළ හැකිය. මෙම අධ්‍යයනය ප‍්‍රධාන වශයෙන්ම ෆා-හියන් ලෙන, බටදොඹලෙන, බෙලි ලෙන, අළු ලෙන, අලිගල ලෙන, පොතාන ද ඉන් අනතුරුව පොත්ගුල් ලෙනේ ද සිදුකොට ඇත (Adikari 1998; අදිකාරි 2009; Deraniyagala 1992; Perera 2007∙ Manamendra-Arachchi et al. 2009[a]; Karunarathne et al. 2009; Algiriya et al. 2009; Premarathne et al. 2009; Menike et al. 2009; Karunaratne et al. 2009; Perera et al.2009; Chandimal et al. 2009; Manamendra-Arachchi et al. 2009[b]).

පුරාණ මානවයා සහ පක්ෂි දඩයම

ප‍්‍රාග් ඓතිහාසික පක්ෂි දඩයම හැරුණු විට අනුරාධපුර ඇතුළු නුවර කැනීම් මගින් හමුවන පක්ෂි අවශේෂ අයත් වන්නේ ප්‍රොටෝ ඓතිහාසික යකඩ යුගයට (Proto historic Iron age) සහ ඓතිහාසික යුගයට අයත් සන්දර්භ තුළින් වන අතර එහි හමුවන්නේ වළි කුකුළාටත් (Gallus lafayetii) මොණරාටත් (Pavo cristatus) අයත් අවශේෂ වේ. පහළ කිරිඳි ඔය ද්‍රෝණියේ හමුවන පක්ෂි අවශේෂ පිළිබඳව අදිකාරී දක්වා ඇත (Adikari 2010).

වැදි ජනයා (Seligmann & Seligmann 1911) හා ග‍්‍රාමීය ජනයා වර්තමානයේත් පක්ෂි දඩයමට හා අනුභවයටත් පෙළඹී ඇත. පක්ෂීන් අල්ලා ගැනීම සඳහා යොදා ගනු ලබන ක‍්‍රමෝපායයන් පිළිබඳව සීගිරිය සහ දඹුල්ල අවට ප‍්‍රදේශයේ කළ ගවේෂණ මගින් අනාවරණය කොට ගෙන ඇත (Myrdal & Yasapala 1994). කෙසේ වුව ද ශ‍්‍රී ලංකාවේ වසන සෑම ජන කොටසක්ම පාහේ වළිකුකුළන් දඩයම් කොට ආහාරයට ගැනීමට පෙළඹුන ද ඔවුන් ප‍්‍රමාණයෙන් විශාල වූ මොණරුන් දඩයමට හෝ අනුභවයට ඇල්මක් නොදක්වන්නේ මොණරුන් හින්දු ආගම හා බැඳුණු සත්වයෙකු වීම හේතු වන්නට ඇත.

ප‍්‍රාග් ඓතිහාසික මානවයා සහ අස්ථි අවශේෂ (1 සහ 2 රූප) ඉහත විස්තර කළ අයුරින් ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීම් මගින් අනාවරණය වී ඇත්තේ ප‍්‍රාග් මානවයා ප‍්‍රධාන වශයෙන්ම වළිකුකුළා සහ හබන් කුකුළා ආහාරයට ගත් බවය. මෙම කැනීම් මගින් හමුවන ඉහත පක්ෂින් දෙ දෙනා හැරුණු විට ඉතිරි පක්ෂි අස්ථි බොහෝ සේ කැබලි වී ඇති බැවින් ඒවා හඳුනා ගැනීමට අපොහොසත් වී ඇත. 2010 වසර වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති පක්ෂීන් විශේෂ සංඛ්‍යාව 490 ඉක්මවනු ලබයි (Kotagama & Ratnavira 2010). විශාල විශේෂ ප‍්‍රමාණයක් නියෝජනය කරනු ලබන මෙම සත්ව කාණ්ඩය අස්ථි විද්‍යාත්මක අධ්‍යයනයේ දී හා සංසන්දනාත්මක අධ්‍යයනයේ දී හැසිරවීම පහසු කටයුත්තක් නොවනු ඇත.

වළිකුකුළා සහ හබන් කුකුළා හදුනා ගැනීමේ දී ඔවුන්ගේ සංසන්දනාත්මක අස්ථි භාවිත කළ ද ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවන 490 ඉක්ම වූ පක්ෂීන්ගේ අස්ථි එකතුවක් සකස් කිරීම ප‍්‍රායෝගික නොවේ. ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන වලින් නිවරැදිව හඳුනාගත් වළිකුකුළා සහ හබන් කුකුළා හැරුණු විට ඉතිරි අස්ථි අනෙකුත් විශේෂයන්ට අයත් බැව් තහවුරු වේ. ඒවා ඉදිරි අනාගතයේ සිදු කරනු ලබන පර්යේෂණයන් සඳහා සුරක්ෂිත කොට ඇත.

තෙත් කලාපයේ ප‍්‍රාග් ඓතිහාසික ගුහා අවට පරිසරය ජීව විවිධත්වය ඉතා ඉහළ වුව ද (Bossuyt et al. 2004) මානවයින්ට ආහාරයට ගත හැකි සතුන් දඩයම් කිරීම එතරම් පහසු නොවේ. ප‍්‍රාග් මානවයා මෙම කුකුළන් දඩයම් කරන්නට ඇත්තේ අතිශයින්ම දුෂ්කරතාවකින් යුතුව බව සිතිය හැකිය. හඳුනාගන්නා ලද සමස්ත පක්ෂි අවශේෂ අතරින් 80‍% වැඩි ප‍්‍රමාණයක් වළි කුකුළන් නියෝජිතය. වළිකුකුළන් සමූහ වශයෙන් ජීවත්වන අතර මානව වාසස්ථානයන්ට පහසුවෙන් හුරුපුරුදු වුව ද හබන් කුකුළා කුලෑටි, වැසි වනන්තරයේ ජීවත්වන පක්ෂියෙකි. ගුහා කැනීම්වලින් ලද පක්ෂි අවශේෂ අතරින් වැඩි ප‍්‍රතිශතයක් වළිකුකුළා ද පහළ ප‍්‍රතිශතයක් හබන් කුකුළා ද දරන්නට එය හේතු වූවා විය හැකිය.

වැසි වනාන්තර, ප‍්‍රාග් මානවයා සහ පක්ෂි දඩයම

දැනට සිදුකොට ඇති සත්ව පුරාවිද්‍යාත්මක විශ්ලේෂණවලට අනුව ගුහා වාසීන් ප‍්‍රධාන වශයෙන්ම ආහාරයට ගෙන ඇත්තේ ප‍්‍රමාණයෙන් කුඩා සතුන්ය. එනම්, රිළවා, වඳුරා, දඩුලේනා, කළවැද්දා, උගුඩුවා, මීමින්නා, තලගොයි ආදී සතුන්ය. අදින් වසර 12,750 තෙක් කාලනිර්ණය වී ඇති වියළි කලාපයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස විවෘත ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානයට අනුව, එහි ඉහත සතුන් මෙන්ම තිත් මුවා, ගෝනා, වල් ඌරන් යන විශාල ක්ෂීරපායීන් ද සැළකිය යුතු ප‍්‍රතිශතයක් නියෝජනය කරයි (Deraniyagala 1992; Perera 2007). අන්තර් කලාපයේ වූ අලිගල සහ පොතාන ගුහා කැනීම් ප‍්‍රතිඵල අනුව එහි වාර්තාවන සත්ව අවශේෂ තෙත් කළාපීය ගුහාවලට බොහෝ දුරට සමාන වේ (අලිගල හා පොතාන අප‍්‍රකාශිත දත්ත, 2010 සහ Adikari 1998). අපගේ පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව තුළ පක්ෂි නියෝජනය පිළිබඳ සාකච්ඡා කිරීමයි. පක්ෂි අවශේෂ වඩාත්ම සුරක්ෂිතව ඇත්තේ එළිමහන් මානව වාසස්ථාන වලට වඩා ගල් ගුහා (cave) හෝ ගල් ආවරණ (rock shelters) තුළය. එයට හේතුවන්නට ඇත්තේ පක්ෂී අස්ථි තුනී නිසා එළිමහන් වාසස්ථාන වල දී ඒවා ඉක්මනින් විනාශ වී යා හැකි වීමයි. මෙ නිසා අප අධ්‍යයනය කළ නිදර්ශක සියල්ලම පාහේ අනාවරණය කරගන්නා ලද්දේ තෙත් කළාපයේ වූ ගුහා හා ගල් ආවරණ තුළිනි.

වැසි වනාන්තර ආවරණය තුළ රංචු වශයෙන් ජීවත්වන කුර සහිත සතුන් දුර්ලභ හෙයින් එහි යැපීම් ධාරිතාව (carrying capacipy) බොහෝ සේ අවම මට්ටමක පවතී. මේ අනුව, එහි ජීවත් වූ මානවයන්ට උන් දඩයම් කිරීමේ අවස්ථාව නොලැබී ඇති බව දැනට සිදුකර ඇති ගුහා කැනීම් මගින් පැහැදිළිය (Deraniyagala1992; Perera 2007).

වියළි කලාපයේ බෙල්ලන්බැඳිපැලැස්සේ තිත් මුවා, ගෝනා, වල් ඌරා, කුළු හරකා වැනි කුර සහිත සතුන් බහුල නිසා එහි යැපීම් ධාරිතාව ඉහළ තලයක පවතී. එහි සිදුකරනු ලැබූ කැනීම්වලින් ද එය මනාව පැහැදිළි වේ. ෆා-හියන් ලෙන, බටදොඹලෙන, බෙලි ලෙන, අළු ලෙන සහ පොත්ගුල් ලෙන පිහිටා ඇත්තේ යැපීම් ධාරිතාව අවම මට්ටමක පවතින පහතරට තෙත් කලාපයේය. ඉහත දක්වා ඇති දඩයම් කළ කුඩා සතුන්ට අමතරව ගස් ගොළුබෙල්ලන් වූ Acavus මිරිදියේ වූ Paludomus ගණයේ බෙල්ලන් සහ කරමල් බෝදිලියන් (Lyriocephalus scutatus) ආදී කුඩා සතුන් මගින් පැහැදිළි වන්නේ ඔවුන් බොහෝ සේ කුඩා සතුන් මත යැපුණු බවය. භෞමික වාසී කුකුළන් සමඟ කුඩා පක්ෂි අවශේෂ හමුවීමෙන් තෙත් කලාපීය මානවයා ආහාර සඳහා පක්ෂින් වෙත දැක් වූ අවධානය පැහැදිළි වේ. එමෙන්ම ඔවුන් අතට අසු වූ සෑම පෘෂ්ඨවංශී සතෙකුම ආහාරයට ගෙන ඇති බව ගුහා අවශේෂ මගින් සනාථ වේ.

වැසි වනාන්තරවල සමස්ත සත්ව දඩයම වියළි කළාපීය තැනිතලාවල මෙන් පහසු නොවේ. එය අතිශය දුෂ්කරය. නමුත් වදුරන් හා රිළවුන් වැසි වනාන්තරයේ මීටර් 20-30 ඉහළින් වූ තුරු වියනෙහි ජීවත් වුව ද ඔවුන් බොහෝ සෙයින් දඩයම් කර ඇත. භෞමික කුකුළන් අල්ලා ගැනීම දුෂ්කර වුව ද ඔවුන් එම කාර්යය සිදුකළ බව ලැබී ඇති පක්ෂි අවශේෂ අනුව පැහැදිළි වේ.

සමකයට ආසන්න ප‍්‍රදේශවල පැතිර ඇති වැසි වනාන්තර අතර ඉතාමත් සුලභ පක්ෂීන් හැසිරීම් රටාවකිපක්ෂි ‘නඩ’ (Mixed bird flock). වැසි වනාන්තරයේ ජීවත්වන පක්ෂීන් විශේෂ ගණනාවක් ම එකතු වී සාමූහිකව වනාන්තරය පුරාම සැරිසරමින් සංකීර්ණ බැඳීම් තුළින් ආහාර සොයා ගැනීමේ ක‍්‍රියාවලිය පක්ෂී නඩ ලෙස හැඳින්වෙයි. පහතරට වැසි වනාන්තර තුළ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ පක්ෂි දඩයම ගැන සාකච්ඡා කිරීම තුළ පක්ෂි නඩ අතිශය වැදගත් වේ. ශ‍්‍රී ලංකාවේ වැසි වනාන්තර තුළ මෙම පක්ෂි නඩ දැකිය හැකි අතර එහි පක්ෂි විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක පිහිටන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ වූ උන්නතාංශය අතර ප‍්‍රදේශයෙහිය. සිංහරාජ ලෝක උරුම කලාපයේ වූ පක්ෂි නඩ පිළිබඳව බොහෝ පර්යේෂණ සිදුකොට ඇත (පී.බී. කරුණාරත්න මහතාගේ සටහන්, 1983; Goodale & Kotagama 2005; Kotagama & Goodale 2004). පක්ෂි නඩ තුළ පක්ෂින් එකිනෙකාට ආරක්ෂාව සපයමින් බොහෝ දුරට ඔවුන් සහයෝගයෙන් ආහාර සොයා ගනී. එම නඩ අතරට අපට වඩාත් සමීප වීමේ හැකියාව ද ඇත. එහි දී පක්ෂින් අප කෙරෙහි වඩාත් ම විමසිලිමත් නොවන බැවින් එසේ සමීප විය හැකිය. වසර 2010 පෙබරවාරි මස අප විසින් සිංහරාජ ලෝක උරුම කළාපයේ එක් දිනක් තුළ සිදුකළ නිරීක්ෂණ අනුව පක්ෂි නඩ අතරට අපට කෙතරම් සමීප විය හැකි ද යන්න අත්දැකීම් මත අපට පැහැදිළි විය. මෙම පක්ෂී නඩ අතරට සමීප වුවහොත් ඉතා පහසුවෙන් පක්ෂීන් දඩයම් කිරීමේ හැකියාව මිනිසුන්ට ලැබෙනු ඇත.

වැසි වනාන්තරයක පක්ෂි දඩයමේ යෙදුණු ප‍්‍රාග් ඓතිහාසික මානවයා මෙම පක්ෂි නඩ අතරට සමීප වෙමින් උන් දඩයම් කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. විශේෂයෙන්ම, පක්ෂි නඩ අතර දී වලිකුකුළාටත්, හබන් කුකුළාටත් සමීප වීම වඩාත් පහසු වෙයි. මීට අමතරව උගුල් ඇටවීම වැනි ක‍්‍රියාවල දී ද තම වාසස්ථාන අසලට පැමිණීමට සළස්වා හෝ පුරුදුපුහුණු කර දඩයම් කිරීම කරන්නට ඇත. අප මෙහි දී අවධානය යොමු කිරීමට උත්සුක වූයේ වැසි වනාන්තර වල පක්ෂි දඩයම ඉතා දුෂ්කරමුත් ඒ සඳහා ප‍්‍රාග් මානවයා යොදාගත් ක‍්‍රමෝපායයන් සාකච්ඡා කිරීමයි.

පහත දක්වා ඇත්තේ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් විසින් දඩයම් කළ භෞමික පක්ෂීන් දෙ දෙනා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයකි. මෙම විස්තරය ප‍්‍රාග් මානව පක්ෂි දඩයම පිළිබඳව අර්ථකතනයේදී වඩා වැදගත් වේ.

ශ‍්‍රී ලංකා වළිකුකුළා (Gallus lafayetii, Sri Lanka Jungle fowl) සමස්ත දිවයිනේ ව්‍යාප්තව සිටය ද වැඩි ප‍්‍රතිශතයක් වියළි කළාපයේ ජීවත් වන භෞමික පක්ෂියෙකි. බිම පහුරුගාමින් පළගැටියන්, පත්තෑයින්, වේයන් හා ගස්වලින් ඉදී වැටුණු ඵල හා ඇට වර්ග ප‍්‍රධාන වශයෙන් ආහාරයට ගනී. ආහාර පුරුදු බොහෝදුරට ගෘහස්ථ කුකුළන්ට සමානය. වැසි වනාන්තරයේ යටි රෝපණයේ වැවෙන නෙළු (Strobilanthus spp.) ශාකයන්හි මල් සහ බීජ හටගන්නා සමයේ ඒ ආශ‍්‍රිතයට බොහෝ සේ ඇදී එයි. ඒ විශේෂයෙන්ම නෙළු ගසෙන් වැටෙන බීජ ආහාරයට ගැනීමටය. රාත‍්‍රි කාලය ගත කිරීම සඳහා බිම සිට සැළකිය යුතු උසකින් ගස්වල ලගී. උදේ කාලයේ දී ලැගුම්පොළින් බිමට බැස පිරිමි සතුන් තියුණු හඩක් නගමින් අනෙකුත් කුකුළන්ට අභියෝග කරනු ලැබේ. මෙවිට තටු ගසමින් එය සිදුකරනු ලබයි. අභිජනන සමයේ දී පිරිමි සතුන් අතර කළහකාරී හැසිරීම් දැකිය හැකි අතර එකිනෙකාට පහර දීම් සිදු කරයි. පියැඹීම වඩාත් තියුණු හා ශක්තිමත් වුව ද මීටර් කිහිපයකට වඩා පියැඹිය නොහැක. හදිසි කලබලයක දී පමණක් පියාඹනු ලැබේ. ශ‍්‍රී ලංකාවට ආවේනිකය.

ශ‍්‍රී ලංකා හබන් කුකුළා (Galoperdix bicalcarata, Sri Lanka Spur Fowl) සීමිත ප‍්‍රදේශයක පමණක් ව්‍යාප්තව ඇත. විශේෂයෙන් බටහිර හා නිරිතදිග ප‍්‍රදේශයේ වූ වැසි වනාන්තරවල ජීවත් වේ. නමුත්, අන්තර් කලාපයේ හා වියළි කළාපයේ වූ ගඟ බඩ වනාන්තරවල ද (riverine forests) කළාතුරකින් වාර්තා වේ. මහ වනාන්තරවල පමණක් ජීවත්වන නිසා මෙම විශේෂය දැක ගැනීම දුෂ්කරය. අතිශයින් කුලෑටි මෙම පක්ෂියා මිනිසුන්ට නොපෙනී සිටීමට බොහෝ සේ උත්සාහ දරන අතර භෞමික දිවියක් ගත කරයි. රාත‍්‍රිය ගස් මත ගත කරයි. විවිධ බීජ වර්ග, ගස්වලින් වැටුණු ඉදුණු ඵල, වේයන් ඇතුළු කෘමීන් ආහාරයට ගනී. වියළි කොළ අතරින් තම ආහාරය සොයා ගනී. මොවුන්ටම ආවේණික වූ හඩින් පමණක් වනයේ ජීවත්වන බව හදුනා ගත හැකිය. ඉහත දක්වන ලද වළි කුකුළා හා නෙළු අතර ඇති සම්බන්ධය මෙන් නෙළු මල් සහ බීජ වඩෙන සමයේ හබන් කුකුළා ද ඒ අසල ගැවසෙයි. ශ‍්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙකි ((Legge 1983; Henry 1998; Kotagama & Fernando 1994; Kotagama & Wijesinghe1998).

නිගමනය

ඉහත ප‍්‍රාග් ඓතිහාසික කැනීම්වල දළ සංඛ්‍යාවන්ට අනුව ක්ෂීරපායීන්ට අයත් අස්ථි 75%ක් පමණ නියෝජනය වන අතර 10% අඩු සංඛ්‍යාවක් පක්ෂීන් නියෝජනය වෙයි (Deraniyagala 1992; Manamendra-Arachchi et al., 2009[b]; Menike et al., 2009; Perera et al., 2009) පක්ෂි අවශේෂ අඩු ප‍්‍රතිශතයක් නියෝජනය කිරීම තුළින් අපට ගත හැකි නිගමන කිහිපයකි. එනම්, 1. ප‍්‍රාග් ඓතිහාසික මානවයා ක්ෂීරපායින්ට සාපේක්ෂව පක්ෂීන් අඩුවෙන් දඩයම් කරන්නට ඇත, 2. ක්ෂීරපායි දඩයමට සාපේක්ෂව පක්ෂි දඩයම දුෂ්කර වන්නට ඇත, 3. පක්ෂී අස්ථි ගණකමින් අඩු හෙයින් ඔවුන් ඒවායින් වැඩි කොටසක් අනුභව කරන්නට ඇති නිසා කැනීම්වලින් ලැබෙන අස්ථි සංඛ්‍යාව සුළු අගයක් ගනියි, 4. ප‍්‍රමාණයෙන් කුඩා පක්ෂීන්ගේ, අස්ථි ද සමඟ සියලු කොටස් ආහාරයට ගන්නට ඇති නිසා එම අවශේෂ සන්ධර්භ අතර තැන්පත් වීමට අවස්ථාවක් නැත යන කරුණු සඳහන් කළ හැකිය. අප විසින් නිසියාකාරව හදුනාගන්නා ලද භෞමික පක්ෂි විශේෂ දෙකක් වන හබන් කුකුළාගේ හා වලිකුකුළාගේ අස්ථි නිරීක්ෂණයන් පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කළ හැකිය, 1. කුරුවිට බටදොඹ ලෙනෙහි සමස්ත ස්ථර හතෙහිම අඛණ්ඩව වළිකුකුල් හා හබන් කුකුල් අවශේෂ හමු වේ. ඒවා අදින් වසර 37,000 උපරිමයට අයත් වේ. මෙම අවශේෂ දකුණු ආසියාවේ ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමු වන පැරණිතම පක්ෂි අවශේෂ වේ, 2. හඳුනාගත් කුකුළු අවශේෂ අතරින් 80‍% වැඩි ප‍්‍රතිශතයක් වළිකුකුලන් නියෝජනය කරනු ලැබේ, 3. මෙම අස්ථි සමහරක් පුළුස්සා ඇති අතර ඒවායේ කෙළවරයන් කැඩී ගොස් ඇත. පූර්ණ අස්ථියක් ලෙස හමු වී ඇත්තේ අලවල පොත්ගුල් ලෙනේ සිදුකල පර්යේෂණ වලෙහි මතුපිට සන්ධර්භයෙන් හා බටදොඹ ලෙනේ BD 15 I නව 6 ස්ථරයෙන් හමු වුණු ප‍්‍රගණ්ඩාස්ථි වේ, 4. කුකුළන්ගේ හිස්කබල් කොටස් දුර්ලභය. එයට හේතු වන්නට ඇත්තේ එහි ඇති මෘදු කොටස් ඉක්මනින් විනාශ වී යාම හෝ මානවයා ආහාරයට ගන්නට ඇති බැවිනි, 5. බහුලව හමුවන අස්ථින් අතර පාදකූර්චය-කූර්චෝපරිය සහ කාකතුණ්ඩිකාව සඳහන් කළ හැකිය. මේ අතරින් පාදකූර්චය-කූර්චෝපරිය ඉතිරිව ඇත්තේ එහි ආහාරයට ගත හැකි මාංශමය කොටස් නැති බැවින් එය ඉවත ළූ නිසා විය හැකිය.

ස්තුතිය

කෞතුකාගාර නිදර්ශක අධ්‍යයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ප‍්‍රධාන උපදේශක ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය නිමල් ද සිල්වා යන මහතුන්ට ස්තුතිය පුද කරමු. එමෙන්ම පක්ෂීන් පිළිබඳ විද්‍යාත්මක මූලාශ‍්‍රය පරිශීලනය සඳහා අවශ්‍ය පහසුකම් සපයා දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් කොටගම මහතාට ද ස්තුතිය පුද කරමු. පර්යේෂණ කටයුතුවල දී නන්අයුරින් සහය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දත්ත හා විශ්ලේෂණ අංශයේ ඒ.ඒ. විජයරත්න මහතාටත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී ලංකා ක්ෂේත‍්‍ර පක්ෂි විද්‍යා කවයේ චින්තක කළුතොට මහතාටත්, ක‍්‍රිෂාන්ති ජයවර්ධන හා රිවිරසිකා මැදගෙදර යන මෙනවියන්ටත්, සංසන්දනාතමක නිදර්ශන ලබා දුන් සුදත් නානායක්කාර මහතාටත් අපගේ ගෞරවාදර ස්තුතිය පුද කරමු.

1 රූපය. ශ‍්‍රී ලංකා වළිකුකුළාගේ (Gallus lafayetii) අස්ථි. ජංඝා-පාදකූර්චාස්ථියේ කොටසක් (වම්පස), ප‍්‍රගණ්ඩාස්ථිය (ඉහළ). අලවල පොත්ගුල් ලෙන. පරිමාණ රේඛා = 10 mm (රූපය සො.ර.පේ‍්‍ර.)

2 රූපය. ශ‍්‍රී ලංකා වළිකුකුළාගේ (Gallus lafayetii) අස්ථි සංත‍්‍රිකාස්ථිය (වම්පස ඉහළ), පාදකූර්චය-කූර්චෝපරිය (දකුණුපස ඉහළ), ප‍්‍රගණ්ඩාස්ථියේ කොටසක් (වම්පස මැද), කාකතුණ්ඩිකාවේ කොටසක් (වම්පස පහළ), උරපතු ඇටයේ කොටසක් (දකුණුපස පහළ). කුරුවිට බටදොඹ ලෙන. (ඡායාරූප එච්. වී. ක‍්‍රිෂාන්ති ජයවර්ධන).

විමර්ශනය කරන ලද මූලාශ‍්‍රය

  • Adikari, G., 1998. Aspect of the Prehistory of the Sigiriya-Dambulla region. Unpub. thesis submitted for the degree of Master of Philosophy (M.Phil.) PGIAR, University of Kelaniya: 443 pp.
  • අදිකාරී, ගා., 2009. පුලතිසිපුර කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විමසුමක්, පුලතිසි වංශය (සංස්. ජයතුංග, නි. පි.), සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය, පිටු 183-192.
  • Adikari, G., 2010. Faunal resources utilization pattern from pre-urban phase to urban phase in lower Kirindi Oya basin. Sirinimal Lakdusinghe felicitation volume, (eds. Gunawardhana, P., G. Adikari & R.A.E. Coningham), Neptune Publication, 101-115 pp.
  • Algiriya, P.P., W.S. Weliange, G. Adikari, S.C. Kumara & Manamendra-Arachchi. 2009. Fish remains from the prehistoric Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 17 pp.
  • Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D.J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M.M. Bahir, K. Manamendra-Arachchi, P.K.L. Ng, C.J. Schneider, O. van Oomen & M.C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
  • Chandimal, K.M., K. Bandara, N. De Silva, G. Adikari, A. Thantilage & Manamendra-Arachchi. 2009. Human skeletol remains excavated from Alavala Potgul-lena cave in Sri Lnaka. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 22 pp.
  • Deraniyagala, S.U., 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo. 813 pp.
  • Goodale, E. & S. Kotagama. 2005. Testing the roles of species in mixed-species bird flocks of a Sri Lankan rain forest. Journal of Tropical Ecology, 21:669-676 pp.
  • Henry, G.M. 1998 (3rd ed.). A guide to the birds of Ceylon. Oxford Univ. Press., Oxford.488 pp., 32pl.
  • Karunaratne, G.A., S. Rathnayake, G. Adikari, J. Perera & K. Manamendra-Arachchi. 2009. Small mammal hunt as evident from the Alavala Potgul-lena cave excavation. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 20 pp.
  • Karunarathne, W., W. S. Weliange, G. Adikari, N. De Silva, K. Manamendra-Arachchi & D. Dilrukshi. 2009. Snail consumption of prehistoric Alavala man. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 15 pp.
  • Kennedy, K.A.R. & S.U. Deraniyagala. 1989. Fossil remains of 28,000-year-old hominids from Sri Lanka. Current Anthropology, 30(3): 394-399 pp.
  • Kotagama, S. and P. Fernando. 1994. A field guide to the birds of Sri Lanka. Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 224 pp., incl. 32 pl.
  • Kotagama, S., & G. Ratnavira. 2010. An illustrated guied to the birds of Sri Lanka. Field Ornithology group of Sri Lanka, University of Colombo, xx+356 pp.
  • Kotagama S. and Wijesinghe. 1998. Siri Laka Kurullo [in sinhala]. Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 394 pp., 32 pl.
  • Kotagama, S. & E. Goodale. 2004. The composition and spatial organization of mixed-species flocks in a Sri Lankan rainforest. Forktail, 20:63-70 pp.
  • Legge, V. 1880 (1983 2nd ed.) A history of the birds of the Ceylon. Tissara Prakasakayo, Dehiwala. 4 vols.
  • Manamendra-Arachchi, K., N. De Silva and G. Adikari. 2009(a). Ecology and environment of Sri Lanka’s wet-zone in the last 50,000 years. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 13 pp.
  • Manamendra-Arachchi, K.N., J. Perera, W.S. Weliange, A. Thantilage, W. Karunaratne, G. Adikari & N. De Silva. 2009(b). Checklist of fauna found in the excavation of prehistoric Alavala Potgul-lena Cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009 , Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 47-50 pp.
  • Menike, S.K.N., N. De Silva, G. Adikari & K. Manamendra-Arachchi. 2009. Analysis of bird remains from Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 19 pp.
  • Myrdal, E. & A. Yasapala, 1994. Hunting, trapping, catching and fishing. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla, ed. Bandaranayake, S. and M. Mogren. The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 264-286 pp.
  • Perera, J., G. Adikari & N. De Silva. 2009. Large mammal remains discovered from the Alavala Potgul-lena excavation. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 21 pp.
  • Perera, N. 2007. A review of the Prehistory of Sri Lanka. Unpublished Ph.D. dissertation, school of Archaeology and Anthropology, Australian National University, Canbera, xii+508 pp.
  • Premaratne, S.R., G. Adikari & K. Manamendra-Arachchi. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 18 pp.
  • Seligmann, C.G. & B.Z. Seligmann, 1911. The Veddas. Cambridge University Press, xx+463 pp.
  • Premathilake, R. & J. Risberg. 2003. Late Quaternary climate history of the Horton Plains, central Sri Lanka. Quaternary Science Review, 22: 1525-1541 pp.

මෙම ලිපියේ ආරම්භයේ දැක්වෙන වලි කුකුළාගේ ඡායාරූපය https://commons.wikimedia.org අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here