ඉසුරුමුණිය

එන්.එච්. සමරසිංහ

එන්.එච්. සමරසිංහ

හෙළයන්ගේ පළමු වැනි අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිට වූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයකි. එමෙන්ම හෙළ ඉතිහාසයේ ද වැඩිම කාලයක් අගනුවර බවට පත්ව තිබු අනුරාධපුරය, ශ්‍රී ලංකාවේ මෙතෙක් හෙලිදරව් කරගෙන ඇති වැඩිම ඓතිහාසික ස්මාරකයන් ප්‍රමාණයකට හිමිකම් කියන නගරය ද වෙයි. අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ යන බොදු බැතිමතුන්ට පවා මේ බොහෝ ඓතිහාසික පුජනිය ස්ථාන මඟහැරි යයි. එහෙත් අනුරාධපුර අටමස්ථානයට අයත් නොවන සිද්ධස්ථානයක් වුවත් මේ හැමදෙනාම පාහේ නොවරදවාම සැදැහැසිතින් යන ස්ථානයකි ඉසුරුමුණිය රජ මහා විහාරය. 

ඉසුරුමුණිය මිහිඳු මා හිමියන් වැඩසිටි ස්ථානයකි. එකල මෙය ‘මේඝගිරි‘ විහාරය නමින් හැඳින්වූ බව පෙනේ. වර්ෂාව ලබා ගැනීම සඳහා උත්සව පැවැත් වූ මෙඝ වන නම් රජතුමාගේ මගුල් උයන පිහිටා ඇත්තේ ද මේ ආසන්නයේය. දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදි වූ එතුමාගේ බෑනා කෙනෙකු වූ අරිට්ඨ කුමාරයා ඇතුළු පන්සියයක් වෛශ්‍ය කුලයේ දරුවන් වෙනුවෙනි. වංශ කතා පොත්වල මේ විහාරය ‘ඉස්සරසමනාරාම‘, ‘කසුප්ගිරි වෙහෙර‘ ආදී නම් වලින් හඳුන්වා ඇත. 

බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. හතර වැනි සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය. 

ලෙන් විහාරය

ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකකි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදි වූ මේ විහාරගෙයට පිවිසීමට ගලින් නිමකළ පඩි කිපයක් ඇත.

පඩි පෙල

පඩි පෙල දෙ පස මුරගල් දෙකක් හා කැටයම් කළ කොරවක් ගල් හා ඉදිරිපස සඳකඩ පහනක් තිබේ. විහාරයේ උළුවස්ස, මකර තොරණ, ආසනය හා ඉඳි බුදු පිළිමය එකම ගලෙන් නෙලා ඇති බව කියති. ලංකාවේ ගලෙන් නෙළන ලද පළමු වැනි බුදු පිළිමය මෙය බවට අදහස් ප්‍රකාශ වී ඇත. මේ පිළිමය බදාමෙන් පිරියම් කොට වර්ණාලේපිත කොට ඇත. පිළිමයට පිටුපසින් තවත් මකර තොරණක් නිමවා ඇත. විහාරයේ බිත්තිවල සූවිසි විවරණ සිතුවම් වේ.

අනෙක් විහාරගෙය මෑතක දී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ. විහාරගේ කෙලවර මිහිඳු ගුහාව ලෙස හැඳින්වෙන ගල් ගුහාව දැකිය හැකිය. අඩි 20ක් පමණ දිග, අඩි 10ක් පමණ උස මේ ගුහාව කටාර කොටා පිළියෙළ කොට ඇත. ගුහාවතුල මිහිඳු හිමියන් සැතපුණු බවට විශ්වාස කෙරෙන ගල් ආසනයක් ඇත. විහාරයේ මෑතක දී සිතුවම් කරන ලද ඉසුරුමුණියේ ඉතිහාසය දැක්වෙන බිතුසිතුවම් රාශියකි.

චෛත්‍යය

ඉසුරුමුණි ගල් පර්වතය මත අඩි 30ක් පමණ වූ මළුවේ ඉදිකර ඇති චෛත්‍යය අඩි 25ක් පමණ උසකින් හා අඩි 75ක් පමණ වට ප්‍රමාණයකින් යුක්තය. මෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන්කොට ඇති බව විශ්වාසයයි.

අෂ්ට පලරුහ බෝධීය

ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ටපලරුහ බෝධීන් වහන්සේලාගෙන් එකක් දෙවන පෑතිස් රජතුමා විසින්  මෙහි රෝපණය කොට ඇත. 

ඉසුරුමුණි විහාරයේ තවත් වැදගත් අංගයක් වන්නේ එහි ඇති විශිෂ්ට ගල් කැටයම්ය. චෛත්‍යය ආසන්නයේ ගලක කැටයම් කළ සිරිපතුලකි. ලෙන් විහාරයට ඇතුළුවන පඩි පෙලෙහි සඳකඩ පහණ, මුරගල් කොරවක් ගල් හා මකරතොරණ  ආදියෙහි ඇති කැටයම් ඉතා අලංකාරය. 

සිරිපතුල

තවත් විශේෂ කැටයමක් වන්නේ ලෙන් විහාරයේ දකුණු පැත්තේ ගලේ නෙළා ඇති හත්වන සියවසේ පල්ලව සම්ප්‍රදායට නෑකම් කියන අශ්ව හිස හා මිනිස් රුවේ කැටයමයි.

අශ්ව හිස හා මිනිස් රුව

මේ කැටයම කුමක්දැයි තවම නිගමනයකට පැමිණ ඇති බවක් නොපෙනේ. මෙහි දැක්වෙන්නේ සෙබලෙකු හා ඔහුගේ අශ්වයා බව හෙන්රි පාකර් නම් නිලධාරියෙකු කියා ඇත. ආනන්ද කුමාරස්වාමි මහතා කියන්නේ මේ කපිල ඉසිවරයා හා ඔහුගේ අශ්වයා බවයි. මේ හින්දු සාධුවරයෙක් බව ලෝංහර්ස්ට් නම් පුරාවිද්‍යාඥයා කියන අතර මේ මහා ඇලෙක්සැන්ඩර් රජු බව ඩී.ටී. දේවේන්ද්‍ර මහතාගේ අදහසයි. එල්.ටී.පී. මංජුශ්‍රී මහතා මේ කැටයමෙන් දැක්වෙන්නේ අනංගයා බව කියයි. මේ වර්ෂාවට අධිපති පර්ජන්‍ය නම් දෙවියා හා අග්නි නම් දෙවියා බවයි සෙනරත් පරණවිතාන මහතාගේ අදහස. කෙනෙක් මේ අවලෝකිතේශ්වර දෙවියන්ගේ බව කියන අතර කෙනෙක් මේ අයියනාර් දෙවියා බව කියනවා. ජේ.බී. දිසානායක මහතාගේ අදහස මේ අනුරාධපුරය ගොඩනැඟූ පණ්ඩුකාභය රජතුමා හා එතුමාට රජවීමට උදව්කල චේතියා නම් වෙලඹකගේ වෙස් ගෙන සිටි යකිනියගේ බවයි.

ඇතුන්ගේ කැටයම

ලෙන් වීහාරය දකුණු පැත්තේ ඇති පොකුණට මායිම්ව ඇති ගල් පර්වතයේ ජලයේ බැස ප්‍රීති වෙන ඇතුන්ගේ කැටයමක් පෙනේ. මෙඝගිරි ලෙස හැඳින් වූ මේ විහාරයේ වර්ෂාව පතා පුදපුජා පවත්වා ඇති බැවින් වර්ෂාව ලැබීමෙන් ඇත්තු සතුටු වෙන කැටයමක් නෙළා ඇතිබව සිතිය හැක.

කෞතුකාගාරය

මේ ස්ථානයේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ මේ පරිශ්‍රයේ තිබී හමුව ඇති අනුරාධපුර යුගයේ පුරාවස්තු ප්‍රදර්ශනය කෙරේ. මෙහි  ඇති ඉතා වැදගත් ප්‍රදර්ශන භාණ්ඩ දෙකක් ලෙස පෙනෙන්නේ ඉසුරුමුණි පෙම් යුවල නිරුපනය වන ගල් කැටයම හා රජ වාසල දර්ශනයක් අඩංගු වන ගල් කැටයමයි. මේ කැටයම් මේ ආසන්නයේ ඇති රන්මසු උයනේ තිබී සොයාගෙන ඇත. ගුප්ත මුර්ති කලාවේ ආභාශය ලැබී ඇති බවට සැලකෙන මේ මුර්ති පස්වන සියවසට පමණ අයත් සේ සැලකේ. 

ඉසුරුමුණියේ පෙම් යුවල

ඉසුරුමුණියේ ලෝකප්‍රකට කැටයම වී ඇත්තේ පෙම් යුවලක් නිරුපනය කර ඇති කැටයමයි. අඩි 3 අඟල් 1ක් උස හා අඩි 2 අඟල් 3ක් පළල චතුරශ්‍රාකාර ගල් පුවරුවක අර්ධ උන්නත වශයෙන් මෙය නෙළා ඇත. 

ගල් තලයක් මත වාඩි වී සිටින තරුණයා පිටුපසින් සිටින ආකාරයටත් ඔහුගේ වම්  කලවය මත වාඩිවී සිටින තරුණිය ඉදිරියෙන් සිටින ආකාරයටත් නෙළමින් පෙම් යුවළ ගල් පුවරුවේ සමබරව කැටයම් කොට ඇති අන්දම අපුරුය. තරුණයාගේ හා තරුණියගේ ආංගික අභිනයන්ගෙන් හා සංකේත වලින් ඔවුනොවුන් කෙරෙහි වන ප්‍රේමය හා ස්නේහය මෙන්ම සෘංගාරය ද ඉස්මතු කොට දක්වා ඇත. මෙය හෙළ කලාකරුවාගේ නිර්මාණ කෞෂල්‍යයේ විශිෂ්ටත්වය විදහා දක්වන නිර්මාණයකි.

මේ කැටයම ගැන ද විවිධ මත පල වී තිබේ. මේ දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය හා ඔහුගේ සිත්ගත් සැඩොල් තරුණියක වූ අශෝකමාලාගේ බවයි සෙනරත් පරණවිතාන මහතාගේ අදහස. මේ ශිව හා පාර්වතී ලෙසත්, මංජුශ්‍රී හා ශක්ති ලෙසත්, සෙබලෙකු හා බිරිඳ ලෙසත් විවිධ අදහස් පල වී ඇත. එක් ජනශ්‍රැතියකට අනුව මෙහි නිරුපනය කර ඇත්තේ ජනක නම් සිගිරි සිතුවම් ඇඳි චිත්‍ර ශිල්පියා හා පළමු වන කාශ්‍යප රජුගේ දියණියක වන උප්පලවණ්‌ණාය. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අදහස වන්නේ  මේ පණ්ඩුකාභය රජතුමා හා ස්වර්ණපාලි කුමාරිකාව බවයි. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ හමුදා සේවයට නික්මෙන හෝ සේවයෙන් පසු ආපසු පැමිණෙන සෙබලෙකු හා ඔහුගේ සොඳුරිය බවයි. පිරිපුන් ශරීරය, කෙටි කර කැපූ කොණ්ඩය, පිටුපස දැක්වෙන කඩුව, පැළඳ ඇති ආභරණ හා කොට කලිසමක් වැනි ඇඳුම නියම ක්‍ෂත්‍රියකුගේ ප්‍රතිරූපය ප්‍රකට කරවන බව ඔහු කියයි. 

මෙම කැටයම අභිනය දර්පණයේ දැක්වෙන නාට්‍ය කලාවේ අභිනයන් සමගද සසඳමින් මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇගයීමට ලක්කරයි. පිරිමි කැටයමේ දකුණතින් වියෝව සිටි අඹුසැමියන් හමු වූ විට කඳුළු පිසදා හැරීම සංකේතමත් කරන  ‘මයුර මුද්‍රාව’ ද, උරය උස්සා එහි ස්පර්ශවන සේ හිස පහත කරමින් දක්වන සොඳුර දැකීමෙන් ඇතිවන ප්‍රීතිය හඟවන ‘නිහංචිත මුද්‍රාව’ ද, දෙනෙතින් කරන ඉඟියෙන් ‘සෘන්ගාර මුද්‍රාව’ ද දැක්වෙන බව ප්‍රකාශ කරයි.

ගැහැණු රුපය දැක්වෙන කැටයමේ දකුණතින් අප දෙදෙනා නැතහොත් ගැහැණියකගේ හා පිරිමියෙකුගේ සංගමය දැක්වෙන ‘අර්ධ පතාක’ හෝ ‘ත්‍රිපතාක’ මුද්‍රාව ද, මඳක් ඇලවුණු හිසින් හා බෙල්ලෙන් ප්‍රේමාතුර භාවය දැක්වෙන ‘අංචිත මුද්‍රාව’ ද, අනෙකෙකුගේ කැමැත්තට අවනත වීම දැක්වෙන අඩක් පියවුණු ඇස් දෙකෙහි ඉඟියෙන් ‘නිමීලිත මුද්‍රාව’ ද නිරුපනය කොට ඇති බව කියයි.  

ඒ අනුව සෙබලෙක් තම සොඳුරිය ගෙන් වෙන්ව සිට ආපසු පැමිණි කල ඔවුනොවුන් තුළ හටගන්නා අපරිමිත ආනන්දය කැටයම් කරුවා  අපූරුවට සටහන් කර තිබෙන බව වික්‍රමසිංහ මහතා පැහැදිලි කරයි.  

රජ පවුල

අනෙක් වැදගත් කැටයම වන්නේ රජ පවුලක එක්තරා අවස්ථාවක් දැක්වෙන ගල් කැටයමයි. මේ කැටයමේ මැද අන් අයට වඩා තරමක් උස අසුනක රජතුමා අසුන්ගෙන සිටි. ඔහු දකුණත ඔසවා යමක් පැහැදිලි කරන බවක් පෙනේ. ඔහුගේ වමත දේවියගේ උකුල මත ඇති අතර දේවිය දෙ අතින්ම ඒ අත අල්ලාගෙන සිටි. පසෙකින් සිටින කුමරා දෙ අත් පපුව මත තබාගෙන සාවධානව යමකට ඇහුම්කන් දෙන බවක් පෙනේ. මෙහි සිටින්නේ දුටු ගැමුණු රජතුමා, දේවිය හා සාලිය කුමරු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. මේ සාලිය කුමරා හා සම්බන්ධ කතාවක එක අවස්ථාවක් විය හැකි බව ඔහුගේ අදහසයි. 

ඉසුරුමුණි පරිශ්‍රයෙන් හමු වූ අප්සරා, කින්නර, දේව ආදී නොයෙක් කැටයම් සහිත පුවරු ඉසුරුමුණි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. 

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.04.23 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here