
09. රඹුක්කන, පදවිගම්පොල ගල්මැස්ස
මේ ලියමන අපේ ලංකාවේ තියෙන විශේෂ පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන ස්ථානයක් ගැනයි. ඒ රඹුක්කන ආසන්නයේ පිහිටලා තියෙන පදවිගම්පොල ගල් මැස්ස ගැනයි. මේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථානයක්. අසළ ම ඉන්න කෙනෙක් රැකවල්කරුවෙක් විදිහට පත්කරලත් ඉන්නවා. මේ ගල්මැස්ස පිහිටල තියෙන්නේ පදවිගම්පොළ කන්ද පාමුළ. දැලිවල කොටවෙහෙරටත් බොහොම ආසන්නයි. දුම්රියෙන් රඹුක්කනට යන කෙනෙකුට වැඩි අපහසුවක් නැතිව මේ ස්ථානයට යන්න පුළුවන්. බොහෝ දෙනෙක් තුළ කුතුහලයක් ඇති කිරීමට සමත් වෙලා තියෙන මෙය තවත් පිරිසකට ගුප්ත අදහස් ඇතිකරන ස්ථානයක් කිවුවොත් වැරදි නැහැ. මේ කුතුහලය සඳහා හේතු වෙලා තියෙන්නේ මේ ස්ථානය ගැන හරිහමන් අවබෝධයක් නැතිකමයි. ඒකට දොස් කියල වැඩකුත් නැහැ, මොකද වැඩි පිරිසකට එහෙම අවබෝධයක් ගන්න අවස්ථාවකුත් අපේ රටේ නැහැනේ.
මේ එක්ක අමුනලා තියෙන රූපයෙන් පෙනෙන විදිහට විශාල ගල් දෙකක් දෙ පසින් තියල ඊට වඩා විශාල ගල් පොත්තක් පියැස්සක් විදිහට තියල තියෙනවා මේ නිර්මාණයේ. අනෙක් පැත්ත ආවරණය වන ආකාරයට තවත් ගල් පොත්තක් හේත්තු කරල. බලන කෙනෙකුට විශාල කුතුහලයක් ඇතිවීම ස්වභාවිකයි. මේ නිර්මාණය මොකක් ද? කවුද හැදුවේ? කවද ද හැදුවේ? මේ වගේ එකකින් ඇති වැඩේ මොකක් ද? මේ වගේ එවුව ඇයි ලංකාවේ වෙනත් තැන්වල නැත්තේ? ප්‍රශ්න ගොඩයි.
සෙනරත් පරණවිතාන මැතිතුමා කියල තියෙන විදිහට මේ අපේ ලංකාවේ පැරණිම වාස්තු ඉදිකිරීමක්. තවත් පිරිසක් කියනවා මේ තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට අයිති ඉදිකිරිමක් කියල. විශාල ගල් වලින් විවිධ ස්මාරක ඉදිකළ මහාශිලා හෙවත් මෙගලිතික (Megalithic) සම්ප්‍රදායට අයිති නිර්මාණයක් කියලයි ඔවුන් පෙන්වලා දෙන්නේ. ඔය කිවුව මෙගලිතික කියන සම්ප්‍රදායට අයිති නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා දකුණු ඉන්දියාවේ. මේ ගැන හොයපු බලපු ලොක ප්‍රකට පර්යේෂකයන්ට අනුව එංගලන්තයේ තියෙන ස්ටෝන් හෙන්ජ් (stone henge) කියන ගල් වටයත් මහාශිලා සම්ප්රදායට අයිති නිර්මාණයක්. එම සම්ප්‍රදායට යුරෝපය, අප්‍රිකානු මහාද්වීපය හරහා දකුනු ඉන්දියාට ඇවිල්ලා. ලංකාවේ මේ සම්ප්‍රදායට අයිති සොහොන් ස්ථාන 75ක් විතර මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් කැනීම් කරලත් තියෙනවා. දඹුල්ල ආසන්නයේ තියෙන ඉබ්බන්කටුව කියන්නේ මේ වගේ තැනක්. මේව ගැන ඉදිරියේ දි කතා කරමුකෝ නේද?
මහාශිලා සම්ප්රදායට අයිති ස්මාරක විශේෂයක් තියෙනවා ඩොල්මන් (Dolmen) කියල. ඒ කියන්නේ පුද්ගලයෙක් හෝ සිද්ධියක් පිළිබඳ මතකය නොකඩවා තබාගන්න කළ නිර්මාණයක්. දකුණු ඉන්දීය ප්‍රෙද්ශවල මේවා බහුලයි. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා වගේ සමහර පුරාවිද්‍යාඥයින් කියන්නේ මේ ගල් මැස්සත් ඒ වගේ ඩොල්මන් එකක් කියලයි. හැබැයි මහාචාර්ය චූලනී රඹුක්වැල්ල මැතිණිය කියන්නේ මේ ශිලා මඤ්ජුසා සුසානයක් (Cist Burial) කියලයි. ශිලා මඤ්ජුසාවක් කියන්නේ ගල් පෙට්ටියක් ආකාරයට සකස් කළ සුසානයක්. මේවා සාමාන්‍යයෙන් අවුරුදු 2,000ක් විතර පරණයි. ලංකාවේ මේ වගේ ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මෙතරම් විශාල නැහැ ඒ කිසි එකක්. රඹුක්වැල්ල මැතිණිය එහෙම කියන්නේ මෙතැන පොළොවේ පිහිටීම නැත්නම් භූ දර්ශනය ගැන බලල. මොකද මෙතැන කන්ද පාමුළ විශේෂයෙන් පස් ඉවත් කරලයි දැන් තියෙන්නේ. ඒ පස් කැපු කොටස නැවත පිරෙවුවොත් මේ නිර්මාණයේ පියන විතරයි පොළොවෙන් උඩඩ එන්නේ කියලයි ඒතුමිය කියන්ෙන්. ගල් පෙට්ටි සොහොනක් වගේමයි.
කොහොම නමුත් මේ ගල් මැස්සේ සමහර ගල්වල තියුණු ආකාරයෙන් කළ කැපුම් සළකුණු තියෙනවා. එහෙම කරන්න නම් යකඩ නැත්නම් වානේ තාක්‍ෂණය තියෙන්න ඕන. ඒ නිසා මේ ගල් මැස්ස මිනිසුන් යකඩ තාක්‍ෂණය ගැන හොදටම දැනඋගෙන ගත්තට පස්සේ කළ නිර්මාණයක් වෙන්ත තියෙන්නේ ඉහළම ඉඩක්.
මේ ගල්මැස්ස අසළ තියෙන කන්දේ ඉහළ කොටස පුරාම පාහේ කටාර කපල (ඒ කියන්නේ වැසි වතුර ගල්ලෙන තුළට එන එක වලක්වන්න කපල තියෙන දාරය) පැරණිම කාලයට අයත් බ්‍රාහ්මී අකුරින් ලිපි සටහන් කළ ලෙන් ගණනාවක් විසිරි තියෙනවා. ඒ කෙටි ලිපිවලින් කියැවෙන්නේ මෙම ලෙන් සකස් කර සතර දිසාවේ සංඝයා වහන්සේලා සඳහා පූජා කළ බවයි. ෙම් ලිපි අවුරුදු 2000කට වඩා පැරණියි. මේ ලිපි ගැන දැනගන්න කැමති කෙනෙකුට සෙනරත් පරණවිතාන මැතිතුමා ලියල තියෙන Inscriptions of Ceylon නම් ග්‍රන්ථය පරිශීලනය කරන්න පුළුවන්. ඒ පොතේ 800-802 දක්වා ඒතැන ලිපි තමා තියෙන්නේ.
මේ ස්ථානය ඔබ දන්න දේවලුත් මෙතැනට එක් කරන්න. ඒ වගේම මෙතැන බලන්න ගිය අය තම අද්දැකීමුත් අපිත් සමඟ බෙදාගයි කියල හිතනවා. ලංකාව් අපේ ඇහැට පේන්න තියෙන මේ වගේ දේවල් ගැන අපි තවතවත් හොයන්න ඕන. ගිහිං නැත්නම් ඒවා දැකබලාගන්න එකත් හොඳයි. මේ අපේ ම දේවල් නේ. ඒ තුළින් තමා අපිට අපේ අතීතය වගේම අනන්‍යතාව ගැනත් දැනගන්න පුළුවන් වෙන්නේ.
10. කුච්චවේලි ගිරි ලිපිය
ඉතිහාස මුලාශ්‍රය අතුරින් ප්‍රබලම මූලාශ්‍රය වන්නේ සෙල්ලිපි කියන එකයි මගේ වැටහීම. ලංකාව පුරා සෙල්ලිපි 5,000ක් විතර ඇති මයේ හිතේ්. තව අනාවරණය කරගත්තේ නැති සෙල්ලිපිත් ඕන තරම් රට පුරාම විසිරිලා. ලංකාවේ සෙල්ලිපි අතර සංස්කෘත බසින් රචනා කර ඇති ඒවා හෝ ඒවායේ කොටස් වශයෙන් ගත්තොත් තියෙන්නේ 20ක් විතර. මිහින්තලේ, ත්‍රිකායස්ථව ලිපිය, අභයගිරියේ සංස්කෘත ලිපිය වගේ සංස්කෘත සෙල්ලිපි ගැන සමහර විට ඔයාලා අහලත් ඇති. මේ කෙටි ලිපියෙන් මම කියන්න යන්නෙත් අපේ රටෙන් හමුවන සංස්කෘත සෙල්ලිපියක් ගැනයි. මේ ලිපිය තියෙන්නේ ලංකාවේ නැෙඟනහිර පැත්තේ කුච්චවේලි කියන ස්ථානයේ. එතැන පැරණි බෞද්ධ විහාරයක්. තිරිකුණාමලේ සිට කිලෝමීටර් 30ක් විතර උතුරු පැත්තට යන්න ඕන මෙතැනට ලඟාවෙන්න නම්. මේ ස්ථානය මුහුදත් එක්ක පිහිටල තියෙන බොහොම ලස්සන හරියක්. මම කළින් සටහනක කියල තියෙන කුච්චවේලි කියන්නේ මේ ආසන්න කලාපයම තමා. මේ භූමිය කීප විටක්ම කැනීම් කරලත් තියෙනවා.
මේ සෙල්ලිපිය ගැන පළ වෙලා තියෙන්නේ 1933 දී පළ කළ Epigraphia Zelanica කෘතියේ III වැනි ෙවළුෙම් 158-161 පිටුවල. මෙය සංස්කරණය කර ඇත්තේ ලක් මව බිහිකළ විශිෂ්ඨ විද්වතෙක් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිඳුයි. මේ ලියමන කරන කාලයේ මෙතුමා ලංකා පුරාවිද්‍යා සමීක්‍ෂණයේ ‘අභිලේඛන සහකාර’ ලෙසයි සේවය කරල තියෙන්නේ. වැඩි දැනුමක් ගන්න කැමති අය ඒ මුල් ලිපිය හොයාගෙන කියවන එකත් බොහොම වටිනවා.
මේ පරණ පන්සලේ තියෙන ස්වභාවිකව හැඳුණු ගල් කුලකයි, මේ සෙල්ලිපිය සටහන් කරල තියෙන්නේ. ඒ ගල් කුළ දැන් පැත්තනට පෙරළිලා තියෙන්නේ. ඉස්සර නම් කෙළින් අතට තියෙන්න ඇති. මෙහි එක් පැත්තක් සියුම් විදිහට ඔප මට්ටම් කරල සමාන කොටු 16කට බෙදල ඒ තුළ කුඩා කුඩා ස්තූප 16ක් අල්ප උන්නත ආකාරයෙන් මතුකරලා. මේ ස්තූප නෙලළ සිදුකළ පිනෙන් ලැබිය යුතු දේත් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රාර්ථනයත් තමා මේ සෙල්ලිපියේ තියෙන්නේ. ඒ ස්තූප රූපවලට දකුණු පැත්තෙත් බොහෝම කුඩාවටයි මේ ලිපිය සටහන් කරල තියෙන්නේ. මේ රූපයේ රතුපාටින් කොටු කරල තියෙන තැනයි ලිපිය තියෙන්නේ. මෙම ලිපිය තියෙන්නේ පේළි අටයි. බොහෝම පොඩියටයි අකුරු තියෙන්නේ. අපේ අත් අකුරුවලට වඩා ටිකයි විශාල. සම්පූර්ණ ලිපියම ගත්තොත් අඟල් 11×8.5 ප්‍රමාණයක් පමණයි ආවරණය වෙන්නේ. දකුණු ඉන්දියාව් පල්ලව ග්‍රන්ථ අක්‍ෂරවලට සමාන අකුරින් තමා මේ ලිපිය ලියල තියෙන්නේ. මහායාන දහමේ බලපෑම අපිට තදින් ලැබුණු කාලයක් ඒක. මේ ලිපියේ බස සංස්කෘතය. පරණවිතානයන්ට අනුව මේ ලිිපියේ අකුරු අයත් කාලය ත්‍රිස්තු වර්ෂයෙන් හත් වැනි සියවසේ පමණ. ඒ නිසා මේ ලිපිය අයිති ඒ කාලයට. ඒ කියන්නේ ලංකාවෙන් ලැබිල තියෙන පැරණිම සංස්කෘත බසින් ලිවුව ලිපියත් මෙයයි. මේ ලිපියේ බස නිසාත්, පිහිටලා තියෙන තැන නිසාත්, අකුරු හැඩ වගේම අන්තර්ගතය අනුවත් මේ ලිපිය මහායාන බුදුදහම සමඟ බැදුණු ලිපියක් විදිහට ඇදින ගන්න පුළුවන්.
මේ ලිපිය ශ්ලෝක නැත්නම් කවි දෙකක් විදිහටයි තියෙන්නේ. මහැඳුරු පරණවිතානයන් පෙන්වා දී ඇති පරිදි ඒ දෙකෙන් පළමු වැන්න ‘උපජාති’ කියන විරිතින් හා දෙ වැන්න ‘වසන්තතිලකා’ කියන විරිතින් තමා ප්‍රබන්ධ කරල තියෙන්නේ.
මේ ලිපියේ පෙළ අද අපි භාවිත කරන සිංහල අකුරින් ලිවුවොත් පහත පරිදි දක්වන්න පුළුවන්. ඒහි සරළ අර්ථය තමා ඊටත් පහළින් දක්වලා තියෙන්නේ. මේ සංස්කෘත ලිපියේ සිංහල අර්ථය සරළ සුගම විදිහට සකසන්න Shantha Kumara කියන මගේ මිත්‍රයා උදවු කළා. දැන් ඉන්න අපි බොහෝ දෙනෙකුට සංස්කෘත බස ගැන හරිහමං දැනුමක් නෑනේ. ඉතිං මෙවැනි පෙරදිග භාෂා ගැන අවබෝධයක් ඇත්තන් ජාතික සම්පතක් වශයෙන් සලකන්න වෙන කාලය වැඩි ඈතක නෑ.
මේ තියෙන්නේ පෙළ:
අනෙන දුඃඛං ව්‍යපනීය සර්වං – පුණ්‍යෙන ලොකස්‍ය සුඛං සමග්‍රං
දාතුං ප්‍රභූර් ජන්මනි ජන්මනි ස්‍යාං – සදා ක්‍ෂමාවී කරුණාන්විතො හං
පුන්‍යේන මාර දොස රිපුන් අනෙන – ජිත්වා පරාම් සමාධිගම්‍ය ජිනේන්ද්‍රතාම් තාම්
සංසාර පංක විසරාද් අහං උද්ධරෙය – මාර්තාම් ජගන්මම මහා කරුණා කරෙන
සරළ අර්ථය :
මා මේ කළ පිනින් හෑම ආත්මයක දී ම ලෝක සත්වයා දුකින් මුදාලීමට හැකි වෙම්වා! ලෝකයාට පූර්ණ සුවය ලබා දීමට හැකි වෙම්වා! ඉවසීම හා කරුණාව මා තුළ පිරී තිබේවා.
මේ පිනින් මරුවා නම් නොයෙක් ෂතුරන් පරාජය කර බුදුබව ලබාවා! මහා කරුණාව නම් අතින් සසර නම් මඩින් විපතට පත් වූ ලෝකයා එයින් මුදවා ගනිමි!
මේ ලිපියේ අන්තර්ගතය අනුව මෙහි රචකයා කවුද කියල හඳුනාගන්න බෑ. හැබැයි බුදු බව පතපු කෙනෙක්. බුදුබව පතමින් සියලු සත්වයා සසරින් එතෙර කිරීම මහායාන ආගම අදහන අයගේ සිතිවිල්ලක්. ඒ නිසා මේ මහායාන බුදුදහම සමඟ බැඳුණක් බව නම් පැහැදිලියි. ඉතිහාසය රචනා කරද්දි මූලාශ්‍රයක් වශයෙන් මේ ලිපියේ අන්තර්ගතය විශාල වටිනාකමක් නැහැ. යම් පුද්ගලයෙක් තමන් කරපු පිනක් හා ප්‍රාර්ථනයක්නේ ගැබ් වෙලා තියෙන්නේ. හැබැයි ලංකාවේ මහායානවාදය ගැන කතාකරද්දි හා අකුරු ගැන කතාකරද්දි නම් යම් වටිනාකමක් මේ ලිපියට තියෙනවා.
මේ වගේ එකක් ලංකාවේ වෙන තැනක ඇත්තෙත් නෑ. ඉතිං මේ ලෙඩරෝග දුරු වුනාට පස්සේ ඔබ තිරුකුණාමලේ පැත්තේ යනව නම්, අරිසිමලේ පැත්තේ යනව නම්, මෙතැනට ගිහිං මේ ස්ථානය දැකබලාගන්නත් අමතක කරන්න එපා. පාර අද්දරමයි තියෙන්නේ. මේ ස්ථානය දැකබලාගන්න එකත් අමතක නොවන අද්දැකීමක් වේවි.
චන්දිම අඹන්වල
11. අතීතය කාලපරිච්ෙජ්දකරණය
අපි කලිනුත් කතා කළා ලෝකයේ මිනිසුන්ගේ කතාව අවුරුදු ලක්ෂ ගණනාවක් ඈතට යනවා කියල. මේ අතීතය ගැනනේ අපි පුරාවිද්‍යාව වගේ විෂයන් වල දී හදාරන්නේ. අවුරුදු මිලියන 4,500ක් විතර පැරණි පෘතුවියේ අතිතය හදාරණ එක කරන්නේ භූ විද්‍යාව වගේ විෂයන්වල දි. මානව අතීත කතාව ගැන හොයද්දි විද්වතුන් ඒ සම්පූර්ණ කාලය යම් යම් අනු පරිච්ෙඡ්දවලට බෙදල තියෙනවා අධ්‍යයනය කිරීමේ පහසුව තකා. මේ බෙදීමේ දී පදනම් කරගෙන තියෙන්නේ ඒ ඒ කාලවල මිනිසුන් අත්කරගෙන තිබුණු ප්‍රමුඛ තාක්‍ෂණය. මෙතැන මතක තබාගත යුතු දෙයක් තමා තත්කාලීනව සිටි මිනිසුන් සියලු දෙනාම ඒ යුගයට අදාළ තාක්ෂණයේ හිටිය කියන එක නම් නෙවෙයි. සම කාලීන යම් ජන කණ්ඩායමක් ඒ ප්‍රමුඛ තාක්ෂණය අත්කර ගනිද්දි තව පිරිසක් පරණ පුරුදු විදිහටම ඉන්න පුළුවන්. මේ කාලේ සමහර අය ග්‍රහලෝක ගැන හොයද්දි තව පිරිසක් ඉන්නේ දඩයම් කරගෙන ජීවත් වෙලා. හිතල බැලුවොත් අපි ගාවත් ගල් යුගයේ ලක්ෂණ කොච්චර තියෙනව ද නේද?
ලෝක මට්ටමින් ගත්තහම මිනිස් අතීතය බෙදල තියෙන ආකාරය තමයි පහළින් පෙළ ගහල තියෙන්නේ. මේකේ තියෙන කාල නීර්ණ සමහර විට ටිකක් විතර පරණයි. මෙම කාල පරිච්ෙඡ්දකරණයේ රේඛීය ස්වභාවක් දැකගන්නත් පුළුවන්. ඒත් ඒ විස්තර මේ කතාවට ප්‍රමාණවත් කියලයි මම හිතන්නේ. දන්න කියන අයට අලුත් විස්තර පහළ කොමෙන්ට් විදිහට එකතු කරන්නත් පුළුවන්.
x පුරාශිලා යුගය (Palaeolitic Period)
- පහළ පුරාශිලා යුගය (Lower Palaeolitic)
- මධ්‍යම පුරාශිලා යුගය (MiddlePalaeolitic)
- ඉහළ පුරාශිලා යුගය (Upper Palaeolitic)
x මධ්‍ය ශිලා යුගය (Mesolithic Period)
x නවශිලා යුගය (Neolithic Period)
x තඹ යුගය (Calcolithic Period)
x ලෝකඩ යුගය (Bronze Age)
x යකඩ යුගය · (Iron Age)
දැන් මේ යුග ගැන කෙටියෙන් කතාකරමු. පුරාශිලා යුගයේ ඉදල නවශිලා යුගය දක්වාම මිනිසුන්ගේ ප්‍රධාන තාක්ෂණය වුනේ ගල් මෙවලම්. මේ කාලයේ කපන්න, තලන්න, සූරන්න, සිදුරු කරන්න හා අඹරන්න කියන සියලු කටයුතු සඳහා විවිධ ගල්වලින් සාදාගත් මෙවළම් තමා මිනිස්සු භාවිත කළේ.
පුරාශිලා යුගය කියන්නේ ගල් යුගයේ පැරණිම කාලය. යුරෝපය ගත්තහම ආරම්භයේ ඉදල අදින් අවුරුදු 10,000 පමණ වනතෙක් මෙම කාලය. මේ කාලයේ මිනිසුන් භාවිත කළ මෙවළම් අතර කැපීපෙනෙන නිමැවුම තමා ගල් අත් පොරොව (hand axe). පුරාශිලා යුගය බෙහෙවින් දිගු නිසා නැවත කොටස් තුනකට බෙදල තියෙනවා පහළ පුරාශිලා යුගය (Lower Palaeolithic), මධ්‍යම පුරාශිලා යුගය (Middle Palaeolithic) හා ඉහළ පුරාශිලා යුගය (Upper Palaeolithic) කියල. අවුරුදු ලක්ෂ 20 පමණ සිට ලක්ෂ 2 පමණ දක්වා කාලය පහළ පුරාශිලා යුගය වශයෙන් සැලකෙනවා. මේ කාලයේ ප්‍රධාන තාක්‍ෂණයයි අත් පොරව. පතුරු මෙවළම් තාක්ෂණය (flakes) ප්‍රධාන තාක්‍ෂණ විධිය වූ මධ්‍යම පැලියොලිතික යුගය අදින් වසර 150,000 පමණ සිට 40,000 දක්වා පැවතිලා තියෙනවා. ඉහළ පුරාශිලා යුගය අවරුදු 40,000 සිට 10,000 දක්වා පැවතුණු අතර මේ කාලයේ විශේෂත්වයක් වශයෙන් හොමෝ සේපියන්ස් (Homo sapiens) මානවයා නැත්නම් නූතන මානවයාගේ ව්‍යාප්තිය හඳුනාගත හැකි වේ. මේ කාලයේ මිනිසා කලා නිර්මාණ පිළිබඳවත් උනන්දු වෙලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධ ඇල්ටමීරා (Alamira) හා ලැසේකෝස් (Lascaux) ගුහා සිතුවම් මේ කාලයට අයතියි. තල මෙවළම් (blades) මේ කාලයේ ප්‍රමුඛ තාක්‍ෂණය වශයෙන් හඳුනාගෙන ඇත. ගල් ආයුධ ගැන කතාකරද්දි හමුවන සොලුත්‍රියන්, මැග්දලේනියන් හා පෙරිගෝලියන් වගේ ගල්ආයුධ සම්ප්‍රදා බොහෝ දුරට මේ කාලයටයි සම්බන්ධ.
මධ්‍යම ගල් යුගය යන අදහසින් මධ්‍යශිලා යුගය (Mesolithic period) නම් කරල තියෙනවා. යුරෝපය ගැන හිතද්දි අදින් වසර 10,000 සිට 2,000 දක්වා කාලය තමා මෙයට ගැනෙන්නේ. ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍රශිලා මෙවළම් (Geometric Microlithic) තමා මේ කාලය හඳුනා ගන්න භාවිත කරන තාක්‍ෂණ විධිය. ඒ නිසා දැන් දැන් මේ කාලය ක්‍ෂුද්‍රශිලා යුගය කියලත් හඳුන්වන ප්‍රවණතාවක් පවතිනවා. එයින් අනතුරුව මිනිස් සමාජය අයිති කරගත් උත්කෘෂ්ට අවස්ථාව නවශිලා යුගයයි (Neolithic Period). අලුත් ගල් යුගය යන අදහසින් තමා මේ කාලේ නම් කරල තියෙන්නේ. මේ කාලේ මානව සංහතියේ විප්ලවීය අවස්ථාවක් වශයෙන් මහාචාර්ය වී. ගොර්ඩන් චයිල්ඩ් නම් විද්වතා හඳුන්වා දී ඇත. මිනිසා පළමු වරට ස්වභාව ධර්මය වෙත තිබූ පූර්ණ අවනත බව දුරලා වගාව හා සත්ව පාලනය සිදු කරන්නේ මේ කාලයේ දි බැව් සැලකේ. ඒ වගේම මැටිබඳුන් නිමවීම, ස්ථිරව ගෙවල් තනාගැනීම හා විධිමත් ආකාරයෙන් ස්මාරක නිමවීමත් මේ කාලයේ දි සිදුකර ඇත. ගල් ආයුධ තාක්‍ෂණයේ ද සැලකිය යුතු වෙනසක් මේ කාලයේ දි ඇතිවන අතර දිලිසෙන මතුපිටක් සහිත ගල් උපකරණ වගේම ධාන්‍ය ඇඹරීම සඳහා උපයෝගි කරගන්නා ඇඹරුම්ගල්වල භාවිතයේ වැඩිවීමක් ද සිදු වේ.
එයින් අනතරුව තඹ-ගල් යුගය යන අදහස ඇති කැල්කොලිතික් යුගයට (Calcolithic Period) මිනිසා පිවිසෙයි. ස්වාභාවිකව පැවති තඹගල් නිස්සාරණය කිරිමකින් තොරව භාවිත කිරීමට ඇත්තේ එහි පවත්නා කාර්යක්‍ෂමතාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීමෙන් විය යුතු වේ. තඹ යුගයට පසු මිනිසුන් ලෝකඩ යුගයට (Bronze Age) පා තබයි. අමුද්‍රව්‍ය යම් සකස් කිරීමේ ක‍්‍රියාවලියකට භාජනය කර ලෝකඩ තනා ගන්නට ඇත. එයින් ද පසු යකඩ තාක්‍ෂණය මිනිසුන් අඳුනා ගන්නා අතර මෙය මිනිසා තැබූ විශිෂ්ට ඉදිරි පියවරක් ලෙස හැඳින්වුව වරදක් නැත. යකඩ නිර්මාණ සඳහා ඉහළ තාක්‍ෂණික අවබෝධයක් පැවතිය යුතු වේ. යපස් නිස්සාරණය සඳහා ඉහළ උෂ්ණත්වයක් ලබාගත යුතු අතර එය සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදුකළ නොහැක්කකි.
මේ සටහනේ ඉහළ විස්තර කරල තියෙන්නේ ලෝකෙටම පොදු කාල පරිච්ෙඡ්දකරණය. නමුත් මෙම කාලපරිච්ෙඡ්ද මේ ආකාරයටම අපට අදාළ නැහැ. ලංකාවේ අතීතය හොයා බලද්දි පේන්නේ මීට වඩා වෙනත් තත්වයක්. දැනට ලංකාවේ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ පුරාශිලා යුගයේ මධ්‍යම පුරාශිලා යුගයට අයිති සීමිත සාධක ප්‍රමාණයක්. මධ්‍යශිලා සාධක නම් ඕන තරම්. කාලයත් යුරෝපයට වඩා පැරණියි. නවශිලා යුගය පිළිබඳත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්. තඹ හා ලෝකඩ යුග නම් ඇත්ෙත්ම නෑතිතරම්. හැබැයි යකඩ තක්‍ෂණය නම් බොහොම ජයට තිබුණු බවක් පේනවා. යකඩ තාක්‍ෂණය අදින් වසර 3,000කට පමණ පෙරත් තිබුණු බව නම් පැහැදිලියි.
ඉහත පෙන්වලා දීලා තියෙන්නේ මානව අතීතය ගැන විපරම් කරද්දි හමුවන සමාජ-තාක්‍ෂණික යුග ගැන. මේ දේවල් ගැන පිරිසිදු අවබෝධයක් සහිතව තමා අතීතය ගැන හොයන්න බලන්න ඕන. මේ දේවල් දිහා බලද්දි මිනිසා ක්‍රමිකව වර්ධනය වුණු බවක් තමා පේන්න තියෙන්නේ. මේ තත්ත්වය මේ මහා භද්‍ර කල්පයටම පොදුයි කියලයි මේ ලේඛකයාට හිතෙන්නේ.
මේ සටහන කියවන ඔයාලගෙන් අදහසක් බලාපොරොත්තු වෙනවා අවසානයේ. ඒ කියන්නේ මානව සමාජය අත්කරගත් එක් එක් තාක්‍ෂණ අනුව මේ විදිහට බෙදා වෙන්කරනවා නම් මේ අපි ජීවත් වන කාලය නම් කරන්න වෙන්නේ කොහාම ද? මම කැමතියි ඔයාලගේ අදහස දැනගන්න. පොඩි වෙලාවක් අරන් පහළින් කොමෙන්ටුවක් දාමුකො එහෙනම් ඒ ගැන ඔබේ අදහස. මගේ අදහස දින දෙක තුනකින් කියන්නම්.
මේ සමඟ දක්වා ඇති ඡායාරූපය https://www.irishtimes.com
වෙබ් අඩවියෙන් උපුටලා ගත්ත එකක්.
චන්දිම අඹන්වල
12. ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාසයේ ගුරු පොත
පොතක් ගැන යමක් කියන්නයි මේ සටහන. ඒ ආචාර්ය සිරාන් යු. දැරණියගල මැතිතුමාගේ රචනයක් වන Prehistory of Sri Lanka, An Ecological Perspective නම් කෘතිය ගැනයි. 1992 දි වසරේ දි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සිහිවටන කෘති මාලාවේ 8 වැන්න විදිහට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ මේ කෘතිය. මේ කෘතියට තමා සිරාන් දැරණියගල මැතිතුමාට දර්ශනසූරි නැත්නම් ආචාර්ය (PhD) උපාධිය හිමිවෙලා තියෙන්නේ. පොත ඉදිරිපත් කරල තියෙන්නේ එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට.
සිරාන් දැරණියගල මැතිතුමා අධ්‍යාපනය ලබල 1968 දී ලංකාවට ඇවිත් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයෙකු විදිහට සම්බන්ධ වුනානේ. ඊට පස්සේ 1970 වන විට ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ පිළිබඳ අවධානය යෙදීම ආරම්භ කළා. තම පියතුමා වන පී.ඊ.පී. දැරණියගල මැතිතුමා කළ බෙල්ලන්බැඳිපැලැස්ස පුරාවිද්‍යා ස්ථානයෙන් අනාවරණය වු මාවන කෘති විශ්ලේෂණයෙන් තමා මේ වැඩ ආරම්භ කළේ. පසුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂන අදියර Vක් යටතේ පෙළ ගැස්සුවා. ඉතා කෙටියෙන් ඒවා සඳහන් කරන එක හොඳයි කියල හිතනවා, මොකද පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ඉන්න සමහර අයට පවා මේ ගැන හරිහමන් අවබෝධයක් ඇති බව පේන්න නැහැ. ඒ අනුව, I වැනි අදියරයේ දී මේ දක්වා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් පවතින දත්ත එක්රැස් කිරීමයි සිදුකළේ. එයින් අනතුරුව වෙරළබඩ කලාපය, උස්බිම් කලාපය මෙන්ම අතරමැදි කලාපය ආදි වශයෙන් ලංකාවේ සියලු කලාප ආවරණය වන ආකාරයට පොදුවේ සෑම තැනම ගවේෂණය කිරීම තමා II වැනි අදියරයට අයත් වුනේ. මේ ගවේෂණ මඟින් අනාවරණය වුණු දත්ත පදනම් කරගෙන මෙතෙක් විධිමත් අධ්‍යයනයකට භාජනය නොවුණු ලංකාවේ වෙරළබඩ සීමිත කලාපයක පැතිර තියෙන ඉරණමඩු පස් කලාපයේ හා රතු-දුඹුරු පස් කලාපයේ විධිමත්ව කැනීම් සිදුකර අධ්‍යයනය කිරීම තමා III වැනි අදියරයේ ඉලක්කය වුනේ. IV වැනි අදියර වශයෙන් තීරණය කරල තිබුනේ ඉහත අදියර තුන ඔස්සේ අනාවරණය කරගන්නා දත්ත හා තොරතුරු එක්රැස් කරල ඒහෙම නැත්නම් සංස්ලේෂණය කරල ලේඛනයක් සකස් කිරීම. ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයේ ගල්ලෙන් තැම්පතු ප්‍රාග් ඓතිහාසික දත්ත සඳහා පරික්ෂා කිරීම තමයි අවසාන නැත්නම් V වැනි අදියරයේ දි අපේක්ෂා කළේ. මේ මම ඉහත දැක් වූ පරියේෂණ වැඩසටහනේ IV වැනි අදියර තමා මේ මම කියන පොත. ලේසි පාසු ඉලක්කයක් නෙවෙයි. පැහැදිලියිනේ, අවුරුදු 20කට වඩා කාලයක සැලසුමක් හා වැඩපිළිවෙලක් තමා මේ පොතක් විදිහට ඵල දරල තියෙන්නේ.
මේ පොත 1992 දී වෙළුම් දෙකක් විදිහටයි පළ වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ගත්තොත් A4 ප්‍රමාණයට ටිකක් ලොකු පිටු 813ක් මේ පොතේ තියෙනවා. සම්පූර්ණ පොත පරිච්ඡේද 7ක් හා ඇමිණුම් IVකින් යුක්තයි. 1. හැඳින්විම, 2. නිදර්ශක, 3. කාලනීර්ණ, 4. චාතුර්ථික අවධියේ පරිසරය, 5. ප්‍රාග් ඓතිහාසික සංස්කෘතිය, 6. මානවවංශවේදය හා 7. නිගමන කියන මාතෘකා යටතේ තමා පරිච්ඡේද. මේ පොතේ දි වැඩි අවධානයක් යොමුකරල තියෙන්නේ ආචාර්ය දැරණියගල විසින් ඉරණඉඩු පාංශු සංකීර්ණයේ (Iranamadu Formation) හා රතුවන් දුඹුරු පාංශු කලාපයේ (Reddish-brown Earth) සිදුකරන ලද ගවේෂණ හා කැනීම් තුළින් අනාවරණය වූ දත්ත විශ්ලේෂණය කරන්නයි. එමඟින් පාරිසරික සාධක ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සඳහා සිදුකළ බලපෑම අවබෝධ කරගන්නයි. අන්තර්ගත බොහෝ පරිසරාත්මක සාධක නම් ක්‍ෂේත‍්‍රයේ අයටත් දුරවබෝධයි. මේක පොතක් කිවුවට නිකං දත්ත හා තොරතුරු තියෙන පොතක් පමණක් නෙවෙයි. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ න්‍යායාත්මක රාමුව පැහැදිලි කරන්නක්. මෙයින් ඉදිරියට මෙරට ප්‍රාග් ඉතිහාසය හොයන ඕන කෙනෙකුට මේ රචනය ඒ සඳහා පාදක කරගන්න වෙනවා. ඒ තරමට ප්‍රාග් ඓතිහාසික මිනිසා හා සංස්කෘතිය සඳහා පරිසරය බලපා ඇති ආකාරය පුදුම හිතන තරම් දැනුමකින් විග්‍රහ කරල තියෙනවා.
මේ පොත සිංහල බසට පරවර්තනය කරන්න භාර අරන් තියෙනවා ලංකාවේ සිටි ප්‍රමුඛ පෙළේ භාෂාවේදියෙක් වගේම පඬිවරයෙක්. නමුත් එය කිරීමට බැරි බව පවසා අතහැරලා. මට තියෙන අවබෝධයත් මේ පොත පරිවර්තනය කරන්න අමාරුයි නෙවෙයි බෑ කියන එකයි. හැබැයි මේ පොතේ සාරාංශයක් වගේ තව පොතක් තියෙනවා The Prehistory and Protohistory of Sri Lanka කියල මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුද්‍රණය කරල ප්‍රකාශයට පක් කළ. මේ පොත ආචාර්ය දැරණියගල මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ම ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා හා මේ ලේඛකයා එකතුව වසර 5කට වැඩි කාලයක පරිශ්‍රමයකින් පසු පරිවර්තනය කරල මුද්‍රණය සඳහා ඔන්න මෙන්න.
ඉතිං මේ පොතේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු ඈතම කාලයේ ගොඩනැඟුණු විදිහ. ඔවුන් ජීවත් වුණු පරිසරය. අදින් වසර 2,500ට ගොඩාක් එහා කාලේ. මේ දීර්ඝ පර්යේෂණාවලියක්. තවත් අහවර නැහැ. මේ දක්වල තියෙන පර්යේෂණ සැලැස්මේ V වැනි අදියර වශයෙන් තමා ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමාගේ Prehistoric Sri Lanka: Late Pleistocene Rockshelters and an Open-Air Site කියන පොත රචනා වෙන්නේ. ඒ පොතේ වැඩි අවධානය කුරුවිට ආසන්නයේ තියෙන බටදොඹ ලෙනටයි. මේ දේවල් ඔක්කොම කළේ අවශය විදිහට විදේශිය සහයත් අරගෙන ලංකාවේ ම ඉපදිල ලංකාවේම ජීවත් වෙන විද්වතුන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එහි නිළධාරින්ගෙත් දාඩිය මහන්සියෙනුත් අසිමිත කැපකිරිමුත් නිසා තමා අද අපි මේ දේවල් දන්නේ. මම මේ විදිහට ලියන්නේ. ඔබ මේ විදිහට සැපපහසුව සිටිමින් කියවන්නේ.
මම මේ කෙටි ලිපියෙන් පොත ගැන නෙමෙයිනේ කිවුවේ. පොතේ පසුබිම ගැන. මේ පොත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විකුණන්න තියෙනවා. අරගෙන ගෙදර තියාගත්තත් කමක් නැහැ. මොකද පුළුවන් දවසක දරුවෙක් හරි පිටු පෙරලල බලයි. ඒ එක් කෙනෙක් හරි මේ පොතේ තියෙන දේ තේරුම් ගත්තත් ඇති. ඔහු ලංකාවේ ප්‍රාග් ඉතිහාසය නව මානයකින් ගොඩනඟන බව මට විශ්වාසයි.
2020.03.27 / 10.44 AM
13. මිහින්තලේ අසළ පිහිටි මහකනදරාව ගල් පාලම
මෙතෙක් අපි කතා නොකරපු ආකාරයේ දෙයක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ ලංකාවේ මාර්ග පරිවරණය පිළිබඳ දෙස් දෙන, තාක්‍ෂණය හා නිර්මාණ කෞෂල්‍යයත් නිරූපණය කරන අනර්ඝ නිර්මාණයක් වන ගල් පාලමක් ගැනයි.
මිහින්තලේ ඓතිහාසික පුරවරයට එන අයෙකුට එන කුඩා නගරයේ සිට දකුණු පසට ගමන් ගන්නා ත‍්‍රිකුණාමලේ පාරේ කිලෝමීටරක් පමණ වූ කෙටි දුරක් ගියවිට මහකනදරාව වැව දෙසට ගමන් කරන මාවත හමු වේ. ඒ පාරේ ගමන් කර මහකනදරාව, ඓතිහාසික ගලේ පංසල පසු කර කෙටි දුරක් ඉදිරියට ගමන් කළ විට මහකනදරාව ඓතිහාසික ගල් පාලම අසලට එන්න පුළුවන්.
මේ ගල්පාලම මීට ගොඩාක් කාලයකට කලින් පුරවිද්‍යා දෙපාර්තමේන්තුම මඟින් හොයලබලල ඒ ගැන ලියලකියල තියෙනවා. ඒ විතරක් නම් මදෑ, මහන්සි වෙලා සල්ලි වියදම් කරල තහවුරු කරලත් තියෙන්නේ. මේ වගේ වැදගත් හුදකලා පැරණි නිර්මාණ බලන්න කෙනෙක් එන්නේ බොහොම කලාතුරකින්. අනුරාධපුරේට එහෙම නැත්නම් මිහින්තලේට අවුරුද්දකට දසදහස් ගණනක පිරිසක් ආවත් මේ ගල් පාලම බලන්න නම් එන්නේ බොහොම සුළු පිරිසක්. මේව බලන්න එනවනම් ඒවායේ ආරක්‍ෂාවත් වැඩි වෙනවා, ඒවා ගැන තියෙන අවධානයත් වැඩි වෙනව කියන එක ආය අමුතුවෙන් ලියන්න දෙයක් නෑනේ.
පැරණි අනුරාධපුර ඇතුළු නගරයේ සිට නැඟෙනහිර දෙසට ගමන්ගත් මාර්ගය එ නම් අනුරාධපුරයේ සිට ගෝකණ්ණ තිත්ථ අද විදිහට කිවුවොත් ත්‍රිිකුණාමලය දක්වා ගමන් ගත් මාවතට අයත් තුන් වැනි ගල්පාලම විදිහට තමා මහකනදරාව ගල් පාලම හඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඉන්ද්‍රකීර්ති සිරිවීර මහාචාර්යතුමා ලිවුව ‘ඉතිහාස තරංග’ කියන පොතේ මෙම පැරණි මාර්ගය ගොකණ්ණ දක්වා වැටී තිබුණේ අනුරාධපුරය, මිහින්තලේ, මහකනදරාව, පන්කුලම, රත්මලේ හරහා බව නිගමනය කරන්න පුළුවන් කියල, මේ පාලම ගැනත් ලියල තියෙනවා. මේ මාවතේ අනුරාධපුරේ ඉදල බලද්දි හමුවන පළමු වැනි ගල්පාලම වන්නේ, අනුරාධපුර ඇතුළු නගරයට නැඟෙනහිරින් පිහිටි නඛා වෙහෙරට ඔබ්බෙන් හාල්පාණු ඇළ හරහා යොදා ඇති ගල් පාලම යි. දෙ වැනි ගල්පාලම පළමු ගල් පාලමට නැඟෙනහිර දෙසින් මල්වතු ඔය හරහයි තියෙන්නේ. මේ ගල්පාලම් දෙකට පස්සේ හමුවන ගල්පාලම තමා අපි කතාකරන මහකනදරාව ගල් පාලම.
මහකනදරාව ගල් පාලම කියල දැන් හඳුන්වන මේ පාලම පැරණි කාලයේ වැලි ඔය හරහා ඉදිකරල තියෙන්න ඇති බව පෙනුනත් මේ ඔය මේ පාලම ළගින් මීටර් ගණනාවක් ඈතට විතැන් වෙලා තියෙන්නේ. හැබැයි මහකනදරා වැව වාන් දමන කාලෙට ඒ වැඩි වතුර වාන් දොරටුවලින් ගලා විත් මෙම පාලම යටින් තමා ගලාගෙන යන්නේ.
වයඹ දෙසට වැඩි බරක් සහිත ව උතුරු – දකුණු දිශානුගත ව පිහිටලා තියෙන මේ ගල්පාලම වර්තමානයේ උපරීම දිග මීටර් 29ක් විතර. සාමාන්‍ය පළල මීටර් 2.70ක් විතර. පාලම පිහිටුුවා ඇත්තේ එක් පෙළකට ගල්කණු 14 බැගින් වූ ගල්කණු පේළි තුනක් උඩ. මෙම ගල්කණුවක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 25×35 ප්‍රමාණයේ ඒවා. පොළොවේ හැඩය විසම නිසා ගල් පාලම හඳන්න නම් සමතල පෘෂ්ඨයක් ලබාගන්න ඕන නේ. ඒ හින්ද එක් එක් කණුවේ උස එකිනෙකට වෙනස්. ගල්කණු එකිනෙක යා වන විදිහට සෙන්ටිමීටර් 38×25 ප්‍රමාණයේ ගල් බාල්ක පාවිච්චි කරල තියෙනවා. ඊට පස්සේ ඒවා උඩ දිග අතට ගල් පතුරු 7-6 වගේ යොදල මතුපිට පෘෂ්ඨය සකස් කරල තියෙනවා. ගල්කණු හා ගල්පතුරු එකිනෙක හොඳට පිරිද්දලා තියෙන්නේ මොන තත්ත්වයක් ඇති වුනත් ඒවා එකිනෙකින් ඈත් නොවන ආකාරයට ය.
පැරණි මූලාශ්‍රයවල දැක්වෙන ‘මහ වෙය’ නැතිනම් මහා විථියකට අයත් ගල්පාලමක් විදිහට හඳුන ගන්න පුළුවන් මහකනදරාව ගල්පාලම උඩින් ගොනුන් බැඳි කරත්තයකට වුනත් අපහසුවක් නැතිව යන්න පුළුවන්. දැන් ගල්පාලම බැලුවහම මේ කරුණ පැහැදිලියි. මේ වගේ ගල් පාලම් ලංකාව පුරා සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. 2010 විතර පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය පී. විදාණපතිරණ සිරිමතිය සමඟ මේ ලේඛකයාත් සම්බන්ධ වෙලා රට පුරාම කළ සොයාබැලීමක දී මේ ආකාරයේ ගල් පාලම් හා ගල් පාළම් නටඹුන් තැන් විසිපහකින් විතර හමු වුණා. තවත් හමු නොවුණු මේ වගේ නටඹුන් ස්ථාන තියෙන්න විශාල ඉඩක් තියෙනවා. ඔයාලටත් පුළුවන් ටිකක් හොයල බලන්න.
මිහින්තලාවට එන ඔබට පැයක් හමාරක් ගත කරල මේ පාලම දැකගන්න පුළුවන් නම් ඒ ඔබේ සංචාරයට අලුත් අරුතක් එක් කරන බවට සැකයක් නෑ. මේ ගමනේ අතුරු වාසිත් නැතුවාම නොවේ. ඒ සෞන්දර්යයෙන් අනූන මහකණදරාව වැව හා තදාශ්‍රි පරිසරය ආස්වාද කිරීමටත් ලැබෙනවා. ඒ විතරක් නොවේ පැරණි සිංහලයාගේ ආකර්ශනීය වාපී කරුමාන්තයක් වන මහකනදරාව වැව දැකබලාගන්නත් පුළුවන්. ඒ මඟින් අපේ විශිෂ්ඨ ඉතිහාස කතාව පිළිබද සාක්කිකරුවෙක් වෙන්නත් අවස්ථාව උදා වෙනවා.
මේ වගේ දේවල් තියෙද්දි ඒ ගැන හොයා බලන් නැතිව අපි ඇයි මේ හීන පස්සේ යන්නේ. මොනව හොයන්න ද?
මේ සමඟ අමුණා ඇති ඡායාරූපය http://www.lanka-excursions-holidays.comවෙබ් අඩවියෙන් උපුටා ගත්තක් කියල ස්තුති පූර්වකව කියන්න ඕන.
චන්දිම අඹන්වල
2020.03.27 / 10.47 PM
15. පාළුමැකිච්චාව ගිරි ලිපිය
පාළුමැකිච්චාව ගිරි ලිපිය
ජාතියක ශ්‍රේෂ්ඨත්වය පෙන්නන්නේ ඒ රටේ හැදියාව හා උරුමය කියන එක අපි කොයි කවුරුත් පිළිගන්නවානේ. රටේ ප්‍රමාණයත් එක්ක බලද්දි උරුමස්ථාන විශාල සංඛ්‍යාවක් අපට තියෙනවා. ඒවා දිනෙන්දින, පැයෙන්පැය විනාශ වෙනවා විවිධ හේතු නිසා. මේ කෙටි සටහනින් කියන්න උත්සාහ කරන්නේ අපට අහිමි වුණු ඒ වගේ උරුමයක් ගැන. මේ ගැන මම මීට කලින් විසතරාත්මකව ලියල තියෙනවා. www.archaeology.lk/sinhala වෙබ් අඩවියට ගියොත් ඒ ලිපිය කියවන්න පුළුවන්.
අනුරාධපුරේ ඉදල ත්‍රිකුණාමලේට යන පාරේ මිහින්තලේ පහුකරල කිලෝමීටර් 15ක් විතර යද්දි හමුවන පාළුමැකිච්චාව නම් පැරණි වැවේ පිටවානේ සටහන් කරල තිබ්බ වසර දෙ දහසක් විතර පරණ සෙල්ලිපියක් ගැනයි මේ සටහන. ක්‍රිස්තු වර්ෂ 112-134 කාලයේ හිටපු පළමු වැනි ගජබා රජුගේ කාලයට අයිති මේ ලිපිය සෙල්ලිපි ගැන කතාකරන අය අතරේ පාලුමැකිච්චාව සෙල්ලිපිය කියලයි
ප්‍රසිද්ධ.
මේ ලිපිය ගැන ඉස්සෙල්ලාම හොයාල බැලූව කියල වාර්තාවල සඳහන් වෙන්නේ මීට අවුරුදු සීයකට විතර ඉස්සර. ඒ ලංකාවේ සෙල්ලිපි ගැන පිළිවෙලකට හොයා බැලීමේ පුරෝගාමියෙකු වූ එඞ්වර්ඩ් මුලර් මැතිතුමා විසින්. මේ ‘පර සුද්දා’ මැතිතුමා ලංකාව පුරාම ඇවිදල කරුණු හොයලබලල 1883 දි පළ කරපු Ancient Inscriptions in Ceylon නම් පොතේ මේ ගැන ලියල තියෙනවා.
ගොඩාක් සාර්ථකව මේ ලිපිය කියවා ගැනීමට මුලර් මැතිතුමා සමත් වුනත් අද බලද්දි එතුමාගේ ඒ කියැවීම සම්පූර්ණ නෑ. ඔහු කියන විදිහට මේ ලිපියේ පැරණි වැව් දෙකක් පිළිබඳ විස්තර තියෙන්නේ. නමුත් පස්සේ බලද්දි ඊට තරමක් වෙනස් තොරතුරු තියෙන්නේ. මුලර් තුමා මෙම ලිපියේ කර්තෘ පැහැදිලිව අඳුනගෙන තියෙනවා. ඒ විතරක් නෙවී මුලර් තුමා මේ ලිපියේ හොඳ මට්ටමේ පිටපතක් ද සකස් කරල තියෙනවා. ඒ රූපය ඉහත කිවුව, එතුමාගේ පොතේ අංක 10 යටතේ දක්වලා තියෙනවා. සෙල්ලිපි වගේ දෙවල් ගැන වැඩිය හොයල බලන්නේ නැති කාලෙක මේ ලිපිය ගැන, මේ ‘පර සුද්දා’ තේරුම් අරන් තියෙන ආකාරය ගැන පුදුම හිතෙනවා.
හැරි චාල්ස් පර්වියස් බෙල් කියන ලංකාවේ පළමු වැනි පුරාවිද්‍යා කොමසාරිස් 1891 වසරට අදාළ පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්ෂික පාලන වාර්තාවේ කණදරා කෝරළයට අයත් මෙම ලිපිය පිළිබඳවත් කෙටි සටහනක් තියෙලා තියෙනවා.
ඊටත් පස්සේ ඒ කියන්නේ 1912 දී දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ මැතිතුමා විසින් Epigraphia Zeylanica කෘතියේ පළමු වැනි කාණ්ඩයේ හොඳ විස්තරයක් සහිත ව මෙම ලිපිය ප්‍රසිද්ධියට පමුණුවලා තියෙනවා. එ තුමා පැහැදිලි කරන ආකාරයට, බෙල් විසින් ඔහුට සපයන ලද මෙම ලිපියේ ස්පර්ශ ලාංඡන හා නෙත් පිටපත් අනුව මෙම ලිපිය කියවා සංස්කරණය කරල තියෙනවා. වික්‍රමසිංහ මහතා දක්වන ආකාරයට, පේළි 6කින් යුතු මෙම ලිපිය අඩි 8ක දිගකින් හා අඩි 3 අඟල් 6ක පුළුලකින් යුක්තයි. පළමු වැනි පේළියේ 5, 6 හා 7 යන අකුරු හැර අනෙක් අකුරු හොඳ විදිහට තියෙනවා. මෙම ලිපියේ අකුරු අඟල් 4-7 දක්වා උසකින් හා අඟල් 2ඃ-5 දක්වා පළලකින් යුක්තයි.
වික්‍රමසිංහ මැතිතුමාගේ ලිපියේ තියෙන ආකාරයට මෙම ලිපිය තියෙන පෙළ පහතින් තියෙනවා. මේ සමඟ තියෙන ඡායාරූපයේ ඉහළ තියෙන්නේ 1912 දි පළ වූ ඒ ස්පර්ෂ ලාංඡන පිටපත. පැරණි අකුරු ගැන යම් අවබෝධයක් තියෙන අයට සසඳලා බලන්න පුළුවන්.
පෙළ :
1 මහරජහ වහබයහ
2 මනුමරක තිස මහරජහ පුති
3 මහරජි ගමිණි අබයෙ උපල විබ
4 ජකහි වඩමණක වවි පච සහසි කහවණ
5 දරිය කණවය තුබරබ බුක සග
6 හටය චතිරි පචණි පරි
අර්ථය :
වසභ රජතුමාගේ මුණුපුරු වූ ද තිස මහ රජුගේ පුතු වූ ද ගමිණි අබය රජු කහවණු පන්දහසක් වියදම් කොට උපල කොටසෙහි වූ වඩමණක වැව කැණ තුබරබ (තුපාරාමයේ) භික්‍ෂු සංඝයා හට සිවුපසය ලබාගැනීම සඳහා පූජා කරන ලදී
ලිපිය අනුව ‘ගාමිණි අබය’ නම් රජු විසින් ‘උප්පල’ නම් ප්‍රදේශයේ තිබූ ‘වඩමණක’ නම් වැව පන්දහසක වියදමින් ප්‍රතිසංස්කරණය කොට එහි ආදායම ‘තුබරබ’ නැත්නම් ථූපාරාම විහාරයේ භික්‍ෂූ සංඝයාගේ සිවුපසය පරිභෝජනය සඳහා පරිත්‍යාග කර ඇත. මෙහි දැක්වෙන ගාමිණි අබය නම් රජු වහබ නම් මහ රජු ගේ මුණුපුරා බවත්, තිස නම් මහ රජුගේ පුතු බවත් දක්වා ඇත. මහාවංසයේ ඇති පිළිවෙලට මේ රජුන් තුන් දෙනා හඳුනගන්න පුළුවන්. ඒ අනුව, මෙම ලිපිය රචනා කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 112-134 කාලයේ රජ කළ ගජබා නැත්නම් ගජබාහුක ගාමිණි අබය රජතුමා. එ තුමාගේ පියා ක්‍රිස්තු වර්ෂ 109-112 කාලයේ රජකළ තිස මහ රජු හෙවත් වංකනාසික තිස්ස රජතුමා. 12,000ක ලක්දිව වැසියන් පිරිසක් සොළි රටට අල්ලගෙන ගියේ මේ කාලේ. ගාමිණි අබය ගේ සීයා වසභ රජු ය. වල්ලිපුරම් රන් සන්නසේ මහරජ වහය නමින් ඉන්නෙත් මෙතුමාමයි.
මේ ලිපියේ හතර වැනි පේළිය අවසානයේ අවසාන අකුරු දෙකට පහළින් කොටු සලකුණක් දැකගන්න පුළුවන්. මේ පැරණි සෙල්ලිපි වල ‘කහවණු’ දැක්වීම සඳහා තියෙන සංකේතය.
මේ ප්‍රසිද්ධ මේ ලිපිය අද හැබැයින් දකින්න නැහැ. වසර විස්සකට විසිපහකට විතර ඉස්සර මෙම වැව ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවක පිටවාන හරහා කොන්ක්‍රිට් බැම්මක් සකසද්දි මේ ලිපිය උඩින් කොන්ක්‍රිට් දමලා. ඒ නිසා මේ ලිපියේ විශාල කොටසක් විනාශ වෙලා. ඉතිරි වෙලා තියෙන්නේ අවසාන පේළි දෙකේ අන්තිම අකුරු කීපයක් පමණයි. පින්තූරේ රතුපාටට කොටුකරල තියෙන්නේ ලිපිය තිබුණු තැන. දුක හිතෙන කාරණය වෙන්නේ පොඩිත්තක් හිතුවනම් සෙල්ලිපියත් රැකගෙන බැම්මත් බඳින්න තිබුනා. මේවා විනාශ කළේ පිටින් ඇවිල්ල නොවෙයි, අපේම කියන අයයි.
චන්දිම අඹන්වල
2020.03.28 / 08.18 PM
04. ලංකාවේ මානව අතීතයේ කාලපරිච්ජේද
මේ කෙටි සටහනින් කතා කරන්න යන්නේ ලංකාවේ මානව අතීතය පිළිබඳ අධ්‍යයනය කරන අය තම පහසුව සඳහා ඒ අතීතය කාලපරිච්ඡේදවලට බෙදල තියෙන හැටි ගැන. මේ පෙළේ 11 වැනි සටහනේ තිබුණු ලෝකයේ මානව අතීතය බෙදුව හැටි ගැන අවබෝධයක් තියෙන එක මේ සටහන පහසුවෙන් තේරුම් ගන්න රුකුලක් වෙයි. ඒ නිසා ඒ සටහන අමතක අය හරි නොබලපු අය ඒක බලල ඉන්න එක පහසුවක්. මතකනේ ඉතිහාසය කියන්නේ එකක්, අතීතය කියන්නේ තවත් කාරණයක්.
ඉතිහාසය ඉගෙන ගන්න අය අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, යටත් විජිත යුගය වගේ යුග බෙදීමක් කරනව. නමුත් ලංකාවේ පුරාවිද්‍යාව වගේ දේවල් ගැන කතාකරද්දි මේ බෙදීම ප්‍රමාණවත් නෑ. මොකද ලංකාවේ මිනිස්සු අකුරු ලියන්න කලිනුත් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඉතිහාස කාලයෙන් ඔබ්බට යන්න අවශ්‍ය වෙනවා.
ලංකාවේ මේ කාල බෙදීම ගැන විවිධ වියත්තු අදහස් දැක්වලා තිබුනත් විධිමත් විදිහට කාල බෙදීමක් කරල ප්‍රසිද්ධ කරල තියෙන්නේ ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා. Prehistory of Sri Lanka පොතේ පිටු අංක 707 ඉදල 739 දක්වා තියෙන කොටස කියව ගත්තොත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊට තදානුරූප කාල බෙදීමක් තමා පහළ පෙළ ගස්සලා තියෙන්නේ. ඉස්සෙල්ලම ඒක හොඳින් බලල ඉන්නකෝ.
-
ක්‍රි.පූ. 125,000 (හෝ ඊට පෙර) – ක්‍රි.පූ. 1,000 : ප්‍රාග් ඓතිහාසික අවධිය (පුරා ශිලා, මධ්‍ය ශිලා හා නව ශිලා)
-
ක්‍රි.පූ. 1,000 – ක්‍රි.පූ. 500 පූර්ව ඓතිහාසික යකඩ අවධිය
-
ක්‍රි.පූ. 500 – ක්‍රි.ව. 300 මූල ඓතිහාසික අවධිය
-
ක්‍රි.ව. 300 – ක්‍රි.ව. 1,200 මධ්‍ය ඓතිහාසික අවධිය
-
ක්‍රි.ව. 1,200 – ක්‍රි.ව. 1,500 අන්තර් ඓතිහාසික අවධිය
-
ක්‍රි.ව. 1,500 – ක්‍රි.ව. 1,815 නූතන ඓතිහාසික අවධිය









