මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය

සංස්කෘතිකව හා කායච්ඡේද විද්‍යාත්මක ව මනුෂ්‍යත්වය ළගා කර ගැනීම හදිසියේ සිදුවූවක් නොවේ. එය වසර මිලියන ගණනක් මුළුල්ලේ, පරම්පරා දහස් ගණනක් සියුම් ලෙස සකස් වීමේ මන්දගාමී ක්‍රියාවලියක කූටප්‍රාප්තිය ද නොවේ. හෝමෝ සේපියන් මානවයා ළගාකරගත් නූතන මනුෂ්‍යත්වය යනු අප්‍රිකාව කේන්ද්‍රකොට ගත් ආදී ප්‍රිමාටා ගෝත්‍රයෙන් පන්නරය ලබා ගනිමින්, නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වූ පරිසර තත්ත්වවලට අනුගත වෙමින්, විටෙක පරිසරය වෙනස් කරමින් ද, කාලයට හා අවකාශයට සමගාමීව නොනැසී පැවතීමේ ක්‍රියාවලියේ සංකීර්ණත්වය ළගා කරගැනීමේ ක්‍රියාවලියක් වෙයි. මෙම සාකච්ඡාවට බදුන් වන හෝමෝ සේපියන්වරු බොහෝ ආකාරවලින් අනෙකුත් පූර්වජ ගහනවලට වඩා අසාමාන්‍ය නමුත්, විටෙක වඩාත් කැපී පෙනෙන ලෙස ඔවුන් අවට ලෝකය පිළිබඳ තොරතුරු සැකසීමේ අද්විතීය දක්ෂතාවයෙන් හා ඊට අවශ්‍ය වන සංජනනාත්මක පරිණතභාවයෙන් යුක්ත වූවෝ විය. මානව පරිණාමය යන්න අනිවාර්යෙන්ම දිගු පරිණාමීය ඉතිහාසයක් මත පදනම් වුව ද, නූතන මානව සංජානන විලාසය එකී දිගු ඉතිහාසය විසින් පුරෝකථනය කිරීමට සමර්ථ වී නැත: එනම් එය මෙතෙක් පැවති මානව සංස්කෘතින්ගේ පිරිපහදුකිරීමක් නොව, පවත්නා පරිසරය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමේ ක්‍රියාවලියේ දී අත්පත් කරගත් වර්ධනාත්මක කුසලතාවයක් ලෙස හුවාදැක්වීම සර්ව සාධාරණ බව විද්වත් පිළිගැනීමයි.

සංස්කෘතික වශයෙන් මෙන්ම භෞතිකව ද, සේපියන්ස්වරු ඉතා සුවිශේෂී වන අතර එය පැහැදිලිවම අස්ථි විද්‍යාත්මක ලක්ෂණ මගින් මූර්තිමත් වේ. මෙලෙස දැකිය හැකි සංකේතාත්මක තර්කනයේ එක් ප්‍රකාශයක් වන්නේ ඔවුන් අත්විදි පාරිසරික අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් තාක්ෂණික වෙනස්කම් අනුගමනය කිරීම ය, ඒවා තවදුරටත් එකල සාමාන්‍යය භාවිතයේ පැවති තාක්ෂණික ක්‍රමවලින් ඉදුරාම වෙනස් විය (සේපියන්වරුන්ගේ ශිලා මෙවලම්වල තිබූ විශේෂ ලක්ෂණ). එය මූලික වශයෙන් නව මෙන්ම ස්වයං විනාශකාරී ප්‍රවේශයක් ජනිත කළේ ය. තවදුරටත් පශ්චාත් ග්ලැසියර යුගයේ වූ දේශගුණික වෙනස්වීම් අරඹයා නව තාක්ෂණික මෙවලම් භාවිතය, කෘෂිකර්මාන්තයේ ආරම්භය හා ස්ථිරවාසිතාවය ආරම්භ වූ අතර, එය වර්තමානය දක්වාම වැඩිදියුණු වී පැවත ඒම සේපියන්වරුන්ගේ අඛණ්ඩත්වය පිළිබිඹු කරයි. ඒ අනුව මානව ජීව පරිණාමීය ඉතිහාසයේ වඩාත් රැඩිකල් මෙන්ම දෛවෝපගත නවෝත්පාදන ලෙස සංකේතාත්මක චින්තනය හා ස්ථිරවාසීතාවයේ ආරම්භය තර්ක කළ හැකි ය. එම පරිණාමීය අංකුර ද්විත්වයම අත්‍යවශයෙන් ම හෝමෝ සේපියන්වරුන්ගේ පරිණාමය හා බද්ධ වී පැවතීම විශේෂ කරුණකි.

නූතන හෝමෝ සේපියන්ස් යනු බොහෝ පැතිවලින් (සාපේක්ෂ ව) අසාමාන්‍ය යැයි සැලකිය හැකි ජීවියෙකි. ඔවුන්ගේ බොහෝ භෞතික විශේෂතා එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සෘජු කාය විලාසය හා සම්බන්ධ වේ, එය දීර්ඝ මෙන් ම හොඳින් ෆොසිලගත වූ ඉතිහාසයක් සහිත ලක්ෂණයකි. අනෙකුත් ජීවීන් අතර අද්විතීය ලෙස, මිනිසුන් වන අප ජීවත් වන්නේ ස්වභාවධර්මය අපට ඉදිරිපත් කරන පරිදි ලෝකයේ පමණක් නොව, අපගේ මනස තුළ එය ප්‍රතිනිර්මාණය කරන ලද ලෝකයක ය. එය සිදු වන්නේ අප සංකේතාත්මක ජීවීන් වන බැවිනි: සේපියන්වරුන්ට ලෝකය දැකිය හැකිය, වෙනස් කිරීමේ හැකියාව පවතී, නව්‍ය චින්තනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංජානනය පවතී, එසේ නම්, එකී නව හැකියා හා අවස්ථා මනස තුළ නැවත ඒකාබද්ධ කර “එසේ නම් කුමක් කළ යුතුද? (what if?)” වැනි ප්‍රශ්න ඇසිය හැකි තරම් සේපියන්වරු පරිණාමයේ උච්චස්ථානය වෙත ගමන් කර හමාර ය. මෙතෙක් පර්යේෂණ මගින් නිශ්චය කර ඇති පරිදි, වෙනත් කිසිදු මානව පූර්වජයෙකු එම ශක්‍යතාවය අත්පත් කරගෙන නැත.

ෆොසිල හා ජාන විද්‍යාත්මක සාක්ෂි

පසුගිය වසර සිය දහස් ගණනක ෆොසිල වාර්තාවේ, විවිධ රූප විද්‍යාත්මකව වෙනස් මානව වර්ග හඳුනාගෙන ඇත. සේපියන්වරුන්ට වඩා ඉහළ කපාල ධාරිතාවක් නොතිබුණද (නියැන්ඩතාල්වරුන් හැර), එකී පැරණි මානව විශේෂ බොහෝමයක් හෝමෝ ගණයේ ලා වර්ගීකරණය කිරීමට තරම් සංස්කෘතිකව හා කායච්ඡේද විද්‍යාත්මක ව නූතනත්වය අත්පත් කරගෙන සිටිය හ. මෙවන් නූතනත්වයක් අත්පත් කරගෙන සිටි පළමු හෝමෝ සේපියන් ෆොසිල හමුවන්නේ අප්‍රිකාවෙනි. 1967 දී දකුණු ඉතියෝපියාවේ Kibish ප්‍රදේශයෙන් හෝමෝ සේපියන්ස් කෙරෙහි පවරන ලද මුල්කාලීන ව්‍යුහ විද්‍යාත්මක නූතන මානවයන් ලෙස හඳුනාගෙන ඇති හොමිනිඩ් හිස් කබලේ අවශේෂ සොයාගන්නා ලදී (Day, 1969). කෙසේ වෙතත්, ෆොසිලවල ප්‍රභවය සහ කාලනිර්ණය බොහෝ ලෙස විවිධ අවස්ථාවන්හීදී විවාදයට ලක්වී ඇත (Butzer et al., 1972). වඩාත් නිවැරදි හා වර්තමානයේ පිළිගන්නා කාලනිර්ණය වන දකුණු ඉතියෝපියාවේ Omo ද්‍රෝණියේ වූ හිස් කබලක් මෑතදී (McDougall et al., 2005) වසර 195,000කට පමණ පෙර කාල නිර්ණය කර ඇත. ප්‍රතිනිර්මාණාත්මක නිදර්ශක මත පදනම්ව සිදුකරන ලද නිරීක්ෂණවලදී එය නවීන ඇහි බැම සහ නිකට ඇති බවක් නොපෙනුනද, සාමාන්‍ය පෙනුමෙන් විශාල මොළයක් සහිත වේ. තවදුරටත් අදින් වසර 160,000 පමණ කාලයට අයත්, තවත් ඉතියෝපියානු හිස් කබලක්, මධ්‍ය අවාෂ් නිම්නයේ හර්ටෝ හි අනාවරණය කරගෙන ඇත. ඇහිබැමෙහි ඇති තරමක් ප්‍රාථමික ලක්ෂණ හැරුණු විට අනෙකුත් සියලුම කායච්ඡේද විද්‍යාත්මකව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ සියල්ල නූතන මානවයාට සමාන හෝ ආසන්න බව පුරාමානවවිද්‍යාඥයන්ගේ අදහසයි (White et al., 2003). නමුත් දකුණු අප්‍රිකාවේ Fish Hoek, Boskop, හා Border Cave 5 යන ස්ථානවලින් හමුවන හිස්කබල් හි නිකට හෝ ද්විපාර්ශවීය නොවන ඇහිබැම යන කරුණු වඩාත් තරුණ ජනගහනයකට අයත් විය හැකි බවය ට ද අදහස් පළ වී ඇත (Schwartz & Tattersall, 2005). අවම වශයෙන්, Omo සහ Herto ෆොසිල පෙන්නුම් කරන්නේ වසර 200,000 කට ආසන්න කාලයකට පෙර නූතන මානවයාගේ බාහිර රූපවිද්‍යාත්මක ලක්ෂණ ස්ථාපිත වී තිබූ බව ය. එමෙන්ම, වර්තමාන මානව හිස් කබල සහ පශ්චාත් හිස්කබල ආශ්‍රිත ලක්ෂණ බොහෝ විට DNA නියාමනයේ එක් වෙනසක් නිසා ඇති වූවක් විය හැකි අතර, එහි සංවර්ධිත ප්‍රතිවිපාක ලෙස, නූතන සේපියන්ස් මානවයා ඔහුගේ ආසන්නතම අප්‍රිකානු ඥාතීන් කෙරෙන් ව්‍යුහ විද්‍යාත්මකව බෙහෙවින් ම වෙනස් ස්ථලයක ස්ථානගත කිරීමට හේතු විය.

රූපය 1- නූතන හෝමෝ සේපියන් මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම /www.nbcnews.com ඇසුරෙනි)
රූපය 1- සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම /www.nbcnews.com ඇසුරෙනි)

ජානවිද්‍යාත්මක සාධක සලකා බැලීමේ දී ෆොසිල විද්‍යාත්මකව ලබාගත් දිනයට එපිටින් සාක්ෂි වාර්තා වේ. ලොව පුරා සිටින මිනිසුන් අතර DNA විවිධත්වය විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ පාරම්පරික මානව ජනගහනය අප්‍රිකාවේ ආරම්භ වූ බවත්, එහිදී ජාන විවිධත්වය වැඩිම ප්‍රමාණයක් අප්‍රිකාවේ වාර්තාවන බවත් තහවුරු වී ඇත. ආරම්භක ජනගහනය, නිරිතදිග අප්‍රිකාවේ ජීවත් වූ බවට මෑතකදී යෝජනා කරන ලද අතර (Tishkoff et al., 2009), පසුව මහාද්වීපයේ සෙසු ප්‍රදේශ සහ අවසානයේ ලෝකයේ සෙසු ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වූ බව ඉදිරිපත් කර ඇත. නමුත්, ඊශ්‍රායලයේ Jebel Qafzeh හි හමුවූ, වසර 93,000කට කාලනිර්ණය කරන ලද නූතන මානව සැකිල්ලක් පෙන්නුම් කරන්නේ නූතන ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ ඒ වන විටත් අප්‍රිකාවෙන් ඔබ්බට ව්‍යාප්ත වී තිබූ බවයි. කෙසේ වෙතත්, අණුක විශ්ලේෂණ මෙන්ම පුරාවිද්‍යාත්මක සලකා බැලීම් යෝජනා කරන්නේ Levant ප්‍රදේශයේ වූ මෙම ජනගහනය තාවකාලික බවත්, දැනට පවතින සියලුම මානව ජනගහණයට හේතු වූ නිශ්චිත මානව නික්මයාම මීට වසර 85,000 කට පමණ පෙර හෝ ඊට අඩු කාලයකදී සිදු වූ බවත් ය (Harpending & Rogers, 2000).

රූපය 2- Jebel Qafzeh සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිලය (උපුටා ගැනීම Wikipedia ඇසුරෙනි)
රූපය 2- Jebel Qafzeh සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිලය (උපුටා ගැනීම Wikipedia ඇසුරෙනි)

පසුගිය වසර 10 තුළ දී අනාවරණය කරගැනුණු නූතන මානව ෆොසිල අතර, මොරොක්කෝවෙන් හමුවූ අවශේෂ විශේෂ වැදගත්කමක් දරයි. එනම් මොරොක්කෝවේ Jebel Irhoud හි හමුවූ මානව හිස්කබල අදින් වසර 315 000ක් දක්වාම කාලනිර්ණය වී ඇත. එහි හමුවී ඇති හිස්කබල හා දන්ත විද්‍යාත්මක ලක්ෂණ අනුව නූතන මානවයාට සමාන වුවද, තවදුරටත් පශ්චාත් හා අභ්‍යන්තර හිස්කබලේ ලක්ෂණ අනුව තවමත් යම්තාක් දුරකට ප්‍රාථමික රූපවිද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බව පුරාමානවවිද්‍යාඥයින්ගේ මතය යි (Hublin et al., 2017). මෙම කාලනිර්ණය අප දැනටමත් දන්නා අප්‍රිකානු දිනනිර්ණ සමග ඝට්ටනය වන අතර, නුතන මානවයාගේ අප්‍රිකානු සම්භවය ප්‍රතික්ෂේප කිරීමට වඩා මානවයා ලෝකයේ විවිධ ප්‍රදේශවලදී ඒ ඒ පරිසර තත්වවලට අනුගතව ජීවත් වීමට ගත් ප්‍රයත්න කෙරෙහි සංවේදී වෙමින් නූතනත්වය අත්කරගත් බව පැවසීම වඩාත් විද්‍යානුකූල වේ. මීට අමතරව 1970 දශකයේ ග්‍රීසියේ අපිඩිමා ගුහාව ආශ්‍රයේ සිදුකරන ලද කැණීම් මගින් අනාවරණය කරගන්නා ලද මානව හිස්කබල් දෙකක් නැවත 2019 වර්ෂයේ දී යුරේනියම් ආවලි කාලනිර්ණ ක්‍රමවේදය යටතේ විශේෂණය කර අදින් වසර 170 000- 210 000 ක් දක්වා පැරණි බවට වාර්තා කරන ලදී. එයින් අදින් වසර 170 000ක් පැරණි දෙවන හිස්කබල තරමක් දුරට නියැන්ඩතාල් ලක්ෂණ පෙන්නුම් කරන බවත්, එමගින් එම ක්ෂේත්‍රයේ විසූ මානව ගහන නියැන්ඩතාල් සම්භවයක් දරන බවට ද විද්‍යාත්මක අදහස් පළ වී ඇත (Harvati et al., 2019).

රූපය 3- ග්‍රීසියේ Apidima ගුහාවෙන් සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම Nature ඇසුරෙනි)
රූපය 3- ග්‍රීසියේ Apidima ගුහාවෙන් සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම Nature ඇසුරෙනි)

වඩාත් මෑතකාලීනව එනම් 2020 වර්ෂයේ දී බල්ගේරියාවේ ගුහාවෙන් සොයාගත් ඉහල පැලියෝලිතික පුරාකෘති හා මානව අවශේෂ ඍජු කාලනිර්ණ ක්‍රමවේද යටතේ මෙම පර්යේෂණය මෙහෙයවා ඇත. එනම් අදින් වසර 45 000කට පෙර නූතන මානවයා යුරේසියාවේ මධ්‍ය අක්ෂාංශගත ප්‍රදේශ දක්වා පැතිරීමත් (Hublin et al., 2020), මුල්කාලීන ඉහළ පැලියෝලිතික තාක්ෂණය ව්‍යාප්තවීමත් යන කරුණු ද්විත්වය එම මානව අස්ථි හා mitochondrial DNA (Smith et al., 2021) සාධක මගින් තහවුරු වී ඇත. තවදුරටත් මෙම පර්යේෂණයේ සොයාගැනීම් යුරෝපයේ වූ නියැන්ඩතාල් ජනගනය අඩුවීමත් (Hajdinjak et al., 2021), බහුවිධ අවස්ථාවන්හි නූතන මානවයාගේ යුරෝපීය සංචාර වාර තහවුරු කරයි (Vallini et al., 2022).

ඊළඟ වසර දස දහස තුළ, මෙම මුල් සංක්‍රමණිකයන්ගෙන් පැවත එන්නන් ආසියාවේ දකුණු වෙරළ තීරය දිගේ නැගෙනහිර දෙසට ගමන් කර වසර 75,000 කට පමණ පෙර චීනයට ළඟා විය. එලෙස ඔවුන් මීට වසර 60,000කට පමණ පෙර ඕස්ට්‍රේලියාව ජනාවාසකරණය කරන ලදී. වසර 50,000 කට පමණ පෙර දේශගුණය උණුසුම් වීම නිසා එහි උතුරට වන්නට ඇති Levant හා Fertile Crescent ප්‍රදේශය ආක්‍රමණය කිරීමට හැකි විය. වසර 40,000 කට පමණ පෙර නූතන මානවයා යුරෝපයට සහ මධ්‍යම ආසියාවට ඇතුළු වෙමින් සිටියේය. වසර 25,000 කට පෙර, ඊසානදිග යුරේසියාව ආක්ටික් කවය දක්වාම අල්ලාගෙන තිබුණි. සමහර විට මීට වසර 20,000 කට පෙර, සහ නිසැකවම මෙම දිනයෙන් වසර දහස් ගණනක් ඇතුළත, අඩු ග්ලැසියර මුහුදු මට්ටමින් නිරාවරණය වූ බෙරිං සමුද්‍ර සන්ධියේ ගොඩබිම් පාලමක් හරහා ජනගහනය අමරිකානු මහද්වීපයට ඇතුළු වී ඇත. වසර 15,000 කට පමණ පෙර මිනිසුන් චිලී වෙත ළඟා වී ඇති බව ඇඟවුම් කරයි.

නූතන මානවයාට අනන්‍ය වූ පුරාවිද්‍යාත්මක වාර්තාව

මුල්කාලීනව සොයාගත් නූතන මානව අවශේෂවලට ආශ්‍රිතව පැවති ද්‍රව්‍යාත්මක සංස්කෘතිය එම පර්යේෂකයින් විසින් නොසැලකිය යුතු ලෙස සලකා ක්‍රියාකර ඇත (Klein, 1999). වසර මිලියන 2.5 කට පමණ පෙර  ශිලා මෙවලම් සොයා ගැනීමෙන් පසු හොමිනින් පවුලේ තාක්ෂණික ඉතිහාසය සොල්දාදුවෙකුගේ ජීවිතයට සමාන වූ බව විද්‍යාඥයින්ගේ මතයයි: එනම් ඔවුන් වරින් වර නැගුණු නවෝත්පාදන සැලකිය යුතු නව්‍යතාවයකින් තොරව විශාල කාල පරාසයක් අනුගමනය කරන ලදී. තාක්‍ෂණය ඔවුන්ගේ කාර්යය ඉටු කළ අතර, පාරිසරික තත්ත්ව උච්චාවචනය වන විට අවශ්‍ය ඕනෑම එදිනෙදා කාර්යය කිරීමට ආදි මානවයින් ඒවා භාවිතා කළේය. මෙම දිගුකාලීන රටාව වෙනස් වූයේ නූතන සේපියන් මානවයින්ගේ ආගමනයක් සමග ය. එය වඩාත් විස්තීරණය වන්නේ Chauvet, Lascaux, හා Altamira වැනි යුරෝපීය ගුහා සිතුවම් ආශ්‍රයෙනි. එකී සියුම් සිතුවම් නිර්මාණය කිරීමට අවශය වන සංජානන හැකියාව නූතන මානවයාට පමණක් ආවේණික වූවක් ලෙස සැලකේ. එම සුවිශේෂී හැකියාව බිතුසිතුවම් රූපවලින් ඔබ්බට ගොස් මානවයාගේ එදිනෙදා ජීවිතයේ නිරූපණ අවස්ථා, පුද්ගලික ආභරණ නිර්මාණය, සංකීර්ණ සංගීත භාණ්ඩ නිර්මාණය ආදී නව තාක්ෂණික රටාවලින් පරිපූර්ණ විය. මෙම නව තාක්‍ෂණ පාරිසරික තත්ත්වවල වෙනස්වීම් මගින් උත්තතේජනය කරන ලද අතර, මුල් යුරෝපීය සේපියන්ස් මානවයාගේ මෙම නව්‍ය ප්‍රතිචාරය මුළුමනින්ම පරිසරවිද්‍යානූකූල විය.

රූපය 4- ප්‍රංශයේ ලැස්කෝ ගුහා ච්‍ත්‍ර (උපුටා ගැනීම bradshawfoundation.com ඇසුරෙනි)
රූපය 4- ප්‍රංශයේ ලැස්කෝ ගුහා ච්‍ත්‍ර (උපුටා ගැනීම bradshawfoundation.com ඇසුරෙනි)

මෙලෙස ප්‍රකාශිත සංකේතාත්මක චින්තනයේ මුල්ම සාක්ෂි හමුවන්නේ අප්‍රිකාවෙනි. මහාද්වීපයේ දකුණු කෙළවරට ආසන්නව පිහිටි Blombos ගුහාවේ පර්යේෂකයන් විසින් නිත්‍ය ජ්‍යාමිතික මෝස්තර කැටයම් කරන ලද ගුරුගල් ආලේපිත ඵලක සොයා ගැනීම මෑතකදී වාර්තා කරන ලදී (Henshilwood et al., 2002). මධ්‍ය ශිලා යුගයේ කාර්මික සන්දර්භයක් තුළ හමු වූ මෙම වස්තූන් වසර 77,000ක් පමණ ඈතට දිව යයි; සහ ඒවායේ සංකේතාත්මක විග්‍රහය, නූල් දැමීම සඳහා සිදුරු කරන ලද ගැස්ට්‍රොපොඩ් කවඩ එම ස්ථානයේදීම සොයා ගැනීමෙන් තහවුරු වේ (Henshilwood et al., 2004). අප්‍රිකානු මහාද්වීපයේ අනෙක් අන්තයේ පිහිටි මොරොක්කෝවේ (Bouzouggar et al., 2007) වසර 82,000ක් පැරණි Grotte des Pigeons ඇතුළු අනෙකුත් අප්‍රිකානු මධ්‍ය ශිලා යුගයේ ස්ථානවලින් හමු වූ සමාන “පබළු” Blombos ගුහාවෙන් හමු වූ සාක්ෂිවලට සහාය දක්වයි. සිත්ගන්නා සුළු කරුණ නම්, අප්‍රිකාවෙන් පිටත, වසර 100,000ක් පැරණි ඊශ්‍රායලයේ Skhūl (Vanhaeren et al., 2006) හි එවැනි ආකාරයේ සාක්ෂි මෑතකදී වාර්තා වීමයි. එනම් එම ස්ථානයෙන් හමුවී ඇති සිදුරු සහිත සාගර ගැස්ට්‍රොපොඩ් කවඩ එහි වූ නූතන මානවයා විසින් පබළු භාවිතා කළ බව පෙන්නුම් කරයි. එහි විශේෂත්වය නම් මුහුදු වෙරළේ සිට මෙම ස්ථාන වලට ඇති දුරස්ථභාවය සහ කවච පරිහරණය හා ස්වාභාවික කවච එකලස් කිරීම් සමඟ සංසන්දනය කිරීම තුළින් මෙකී කඩච සංකේතාත්මක භාවිතය සඳහා නූතන මානවයා විසින් හිතාමතා තෝරා ගැනීම සහ ප්‍රවාහනය කිරීම මූර්තිමත් කරයි. ඊශ්‍රාලයෙන් සොයාගත් මෙම නූතන මනාවයා විසින් පුද්ගලික ආභරණ භාවිතය සම්බන්ධ සාක්ෂි අප්‍රිකාවට වඩා තවත් වසර 25 000ක් ඈතට ඇද දමයි.

රූපය 5- Blombos ගුහාවේ නිත්‍ය ජ්‍යාමිතික මෝස්තර කැටයම් කරන ලද ගුරුගල් ආලේපිත ඵලක (උපුටා ගැනීම Britannica ඇසුරෙනි)
රූපය 5- Blombos ගුහාවේ නිත්‍ය ජ්‍යාමිතික මෝස්තර කැටයම් කරන ලද ගුරුගල් ආලේපිත ඵලක (උපුටා ගැනීම Britannica ඇසුරෙනි)
රූපය 6- මොරොක්කෝවේ Grotte des Pigeons හි සොයාගත් පබළු (උපුටා ගැනීම phys.org ඇසුරෙනි)
රූපය 6- මොරොක්කෝවේ Grotte des Pigeons හි සොයාගත් පබළු (උපුටා ගැනීම phys.org ඇසුරෙනි)

මීට පෙර, මානව සංජානනයේ මුල්කාලීන ඉඟි පිළිගැනීමට අපහසු බව විද්වත් මතයයි. උදාහරණයක් ලෙස, වසර 160,000 පමණ (Marean et al., 2007) දකුණු අප්‍රිකානු වෙරළ තීරයේ pinnacle point හි මෑතකදී වාර්තා වූ වර්ණක සැකසීම සහ බෙල්ලන් ඇල්ලීම “නවීන” හැසිරීම් රටා සඳහා සලකුණු ලෙස තර්ක කළ හැකිය. නමුත් එම ක්‍රියාකාරකම් ද්විත්වයම නියැන්ඩතාල්වරුන් විසින් භාවිතා කරන ලද ආර්ථික ක්‍රියාකාරකම්වල ශේෂ වූ සාක්ෂි ලෙස ගිණීම වඩාත් තාර්කික බව විද්වතුන්ගේ ඒකමතික තීරණයයි (Stringer et al., 2008).

සමාලෝචනය

මානව වර්ගයාගේ ඉතිහාසය දීර්ඝතම කාලපර්චඡේදවලින් එකක් වන අතර එය වසර මිලියන හතකට පමණ පෙර පළමු “ද්විපාද වානරයන්” දක්වා විහිදේ. මෙම අසාමාන්‍ය ප්‍රිමාටා පෙනුමෙන් පසුව, හොමිනිඩ් පවුල තුළ පරිණාමීය වෙනස්කම් ඉතා වරින් වර සිදු වූ අතර, නූතන මානවයාගේ පහළවීමට පෙර වඩාත් රැඩිකල් පසුකාලීන නවෝත්පාදනය වූයේ වසර මිලියන දෙකකට පමණ පෙර අත්‍යවශ්‍යයෙන්ම නවීන ශරීර ස්වරූපය සහ බාහිර  පෙනුමයි. ඒහි කූටප්‍රාප්තිය සිදුවන්නේ නූතන සේපියන්ස් ෆොසිල අප්‍රිකානු මහද්වීපය හා ඉන් පිටත යුරේසියාවෙන් ද හමුවීම හේතුවෙනි. නමුත් කොතෙක් මානව පරිණාමයට අදාල වන්නා වූ ෆොසිල අනාවරණය කරගත්ත ද, තවමත් වර්තමානයේ දීත් නොවිසදුණු ගැටළු කීපයක් හමුවේ අප නිරුත්තර වී සිටී. එනම්, නූතන සේපියන් මානවයාගේ ඍජු පූර්වජයා සැබැවින්ම කුමන ආදී මානව වර්ගය ද, නියැන්ඩතාල්වරු හා සේපියන්වරු අතර අන්තර්අභිජනන ක්‍රියාවලීන් සිදු වීයේ ද, සහ අප වර්ගයාගේ අනාගතය කෙබදුවේ ද යන්න යි.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. ඩෙනිසෝවන් මානවයා හා මානව පරිණාමයේ නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Bouzouggar, A., Barton, N., Vanhaeren, M., d’Errico, F., Collcutt, S., Higham, T., Hodge, E., Parfitt, S., Rhodes, E., Schwenninger, J.-L., Stringer, C., Turner, E., Ward, S., Moutmir, A., & Stambouli, A. (2007). 82,000-year-old shell beads from North Africa and implications for the origins of modern human behavior. Proceedings of the National Academy of Sciences, 104(24), 9964–9969.

Butzer, K. W., Isaac, G. L., Richardson, J. L., & Washbourn-Kamau, C. (1972). Radiocarbon Dating of East African Lake Levels. Science, 175(4026), 1069–1076.

Day, M. H. (1969). Early Homo sapiens Remains from the Omo River Region of South-west Ethiopia: Omo Human Skeletal Remains. Nature, 222(5199), 1135–1138.

Hajdinjak, M., Mafessoni, F., Skov, L., Vernot, B., Hübner, A., Fu, Q., Essel, E., Nagel, S., Nickel, B., Richter, J., Moldovan, O. T., Constantin, S., Endarova, E., Zahariev, N., Spasov, R., Welker, F., Smith, G. M., Sinet-Mathiot, V., Paskulin, L., … Pääbo, S. (2021). Initial Upper Palaeolithic humans in Europe had recent Neanderthal ancestry. Nature, 592(7853), 253–257.

Harpending, H., & Rogers, A. (2000). Genetic Perspectives on Human Origins and Differentiation. Annual Review of Genomics and Human Genetics, 1(1), 361–385.

Harvati, K., Röding, C., Bosman, A. M., Karakostis, F. A., Grün, R., Stringer, C., Karkanas, P., Thompson, N. C., Koutoulidis, V., Moulopoulos, L. A., Gorgoulis, V. G., & Kouloukoussa, M. (2019). Apidima Cave fossils provide earliest evidence of Homo sapiens in Eurasia. Nature, 571(7766), 500–504.

Henshilwood, C., d’Errico, F., Vanhaeren, M., van Niekerk, K., & Jacobs, Z. (2004). Middle Stone Age Shell Beads from South Africa. Science, 304(5669), 404–404.

Henshilwood, C. S., d’Errico, F., Yates, R., Jacobs, Z., Tribolo, C., Duller, G. A. T., Mercier, N., Sealy, J. C., Valladas, H., Watts, I., & Wintle, A. G. (2002). Emergence of Modern Human Behavior: Middle Stone Age Engravings from South Africa. Science, 295(5558), 1278–1280.

Hublin, J.-J., Ben-Ncer, A., Bailey, S. E., Freidline, S. E., Neubauer, S., Skinner, M. M., Bergmann, I., le Cabec, A., Benazzi, S., Harvati, K., & Gunz, P. (2017). New fossils from Jebel Irhoud, Morocco and the pan-African origin of Homo sapiens. Nature, 546(7657), 289–292.

Hublin, J.-J., Sirakov, N., Aldeias, V., Bailey, S., Bard, E., Delvigne, V., Endarova, E., Fagault, Y., Fewlass, H., Hajdinjak, M., Kromer, B., Krumov, I., Marreiros, J., Martisius, N. L., Paskulin, L., Sinet-Mathiot, V., Meyer, M., Pääbo, S., Popov, V., … Tsanova, T. (2020). Initial Upper Palaeolithic Homo sapiens from Bacho Kiro Cave, Bulgaria. Nature, 581(7808), 299–302.

Klein, R. L. (1999). The human areer (2nd ed.). University of Chicago Press.

Marean, C. W., Bar-Matthews, M., Bernatchez, J., Fisher, E., Goldberg, P., Herries, A. I. R., Jacobs, Z., Jerardino, A., Karkanas, P., Minichillo, T., Nilssen, P. J., Thompson, E., Watts, I., & Williams, H. M. (2007). Early human use of marine resources and pigment in South Africa during the Middle Pleistocene. Nature, 449(7164), 905–908.

McDougall, I., Brown, F. H., & Fleagle, J. G. (2005). Stratigraphic placement and age of modern humans from Kibish, Ethiopia. Nature, 433(7027), 733–736.

Schwartz, J. H., & Tattersall, I. (2005). The Human Fossil Record, Vol. 4: Craniodental Morphology of Early Hominids (Genera Australopithecus, Paranthropus and Orrorin) and Overview. Wiley-Liss.

Smith, G. M., Spasov, R., Martisius, N. L., Sinet-Mathiot, V., Aldeias, V., Rezek, Z., Ruebens, K., Pederzani, S., McPherron, S. P., Sirakova, S., Sirakov, N., Tsanova, T., & Hublin, J.-J. (2021). Subsistence behavior during the Initial Upper Paleolithic in Europe: Site use, dietary practice, and carnivore exploitation at Bacho Kiro Cave (Bulgaria). Journal of Human Evolution, 161, 103074.

Stringer, C. B., Finlayson, J. C., Barton, R. N. E., Fernández-Jalvo, Y., Cáceres, I., Sabin, R. C., Rhodes, E. J., Currant, A. P., Rodríguez-Vidal, J., Giles-Pacheco, F., & Riquelme-Cantal, J. A. (2008). Neanderthal exploitation of marine mammals in Gibraltar. Proceedings of the National Academy of Sciences, 105(38), 14319–14324.

Tishkoff, S. A., Reed, F. A., Friedlaender, F. R., Ehret, C., Ranciaro, A., Froment, A., Hirbo, J. B., Awomoyi, A. A., Bodo, J.-M., Doumbo, O., Ibrahim, M., Juma, A. T., Kotze, M. J., Lema, G., Moore, J. H., Mortensen, H., Nyambo, T. B., Omar, S. A., Powell, K., … Williams, S. M. (2009). The Genetic Structure and History of Africans and African Americans. Science, 324(5930), 1035–1044.

Vallini, L., Marciani, G., Aneli, S., Bortolini, E., Benazzi, S., Pievani, T., & Pagani, L. (2022). Genetics and Material Culture Support Repeated Expansions into Paleolithic Eurasia from a Population Hub Out of Africa. Genome Biology and Evolution, 14(4).

Vanhaeren, M., d’Errico, F., Stringer, C., James, S. L., Todd, J. A., & Mienis, H. K. (2006). Middle Paleolithic Shell Beads in Israel and Algeria. Science, 312(5781), 1785–1788.

White, T. D., Asfaw, B., DeGusta, D., Gilbert, H., Richards, G. D., Suwa, G., & Clark Howell, F. (2003). Pleistocene Homo sapiens from Middle Awash, Ethiopia. Nature, 423(6941), 742–747.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here