ථූපාරාමය ආරාම සංකීර්ණය පිළිබඳව වූ සාහිත්‍යාගත සාධක
මහින්දාගමනයෙන් පසුව මෙරට ඉදිකරනු ලැබූ ප්‍රථම දාගැබ වශයෙන් මහාවංසගත වන්නේ අනුරාධපුර ථූපාරාමය චෛත්‍යය යි. මීට ප්‍රථමයෙන් මහියංගනය සහ ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකර තිබුණ ද ඒ පිළිබඳව ලිඛිත සාධක ප්‍රකට නොවේ. අනුරාධපුර ථූපාරාමය ආරාම සංකීර්ණය හුදෙක් එක් චෛත්‍යයක් පමණක් නොව ස්තූපය හා සම්බන්ධිත විහාර සංකීර්ණයක් වශයෙන් සැලකිය හැකි ය.
දේවානම්පියතිස්ස රාජ්‍ය පාලන සමයේ දී (ක්‍රිස්තු පූර්ව 250-210) සිදු වූ මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය හේතුවෙන් ලක්දිව පුරා සංවිධානාත්මක ලෙස බුදුදහම ව්‍යාප්ත විය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ඍජුව ලැබීම හේතු කොටගෙන ඒ හා සම්බන්ධ වෙහෙර-විහාර ආදිය ඉදිවීම ද මෙම ව්‍යාප්තියට බලපෑ මූලික හේතුවකි. මෙකල ඉදිකළ එක විහාර සංකීර්ණයක් වූ ථූපාරාමය ආරාම සංකීර්ණය ඉදිකිරීම පිළිබඳ සවිස්තරාත්මක සටහනක් මහාවංසයෙහි සඳහන් වේ.
“….ස්ථවිරයන් වහන්සේ ඒ ධාතු පාත්‍රය සෑගිරියෙහි තබා අකුධාතුව රැගෙන සාමණේරයන් විසින් ලකුණු කරන ලද ස්ථානය වූ මහා නාග වනයට වැඩි සේක… හස්ති තෙම… ථූපාරාමවෙහි චෛත්‍යය ස්ථානයෙන් පිටිපස කරණ ලද්දා වූ ‘ප්‍රමොජ වස්තු’ නම් දෙවස්තානයට ගොස් බෝධි ස්ථානයෙහි නැවතී පූර්ව දිගට අභිමුඛවැ සිටියේ ය. එකල්හි ඒ ස්තූප ස්ථානය හිඟුරු වැල් හා හිය වැලින් වැසුණේ ය…. නරේන්ද්‍ර තෙම ඒ චෛත්‍ය ස්ථානය මත්තෙහි කෙණ්ඩයක් පමණ උස් වූ ථූපයක් දින කීපයකින් බඳවා එහි ධාතු පිහිටුවීම නුවර ඝෝෂා කරවා ථූපාරාමයට එළඹියේ ය….” ආදී වශයෙන් දක්වා ඇත.
ථූපාරාමය ඉතිහාස
මහමෙව්නා උයනේ උසම ස්ථානයේ ඉදිකරන ලද ථූපාරාම චෛත්‍යය උදෙසා වටදාගෙය ඉදිකරවන ලද්දේ ලම්භකර්ණ වංශික වසභ රාජ සමයේ දී (ක්‍රිස්තු වර්ෂ 67-109) ය. ලජ්ජිතිස්ස, ගෝඨාභය (ක්‍රිස්තු වර්ෂ 253-261), පළමුවන උපතිස්ස (ක්‍රිස්තු වර්ෂ 365-410), ධාතුසේන (ක්‍රිස්තු වර්ෂ 459-477), දෙවන අග්ගබෝධි (ක්‍රිස්තු වර්ෂ 608-615), දෙවන කාශ්‍යප (ක්‍රිස්තු වර්ෂ 650-659), මානවම්ම (ක්‍රිස්තු වර්ෂ 684-718), දෙවැනි මිහිඳු (ක්‍රිස්තු වර්ෂ 777-791), දෙවන සේන (ක්‍රිස්තු වර්ෂ 853-887) යන රාජ්‍ය පාලයකයන් වරින් වර ථූපාරාමයෙහි ප්‍රතිසංසකරණ කරවා ඇත.
ථූපාරාම චෛත්‍ය නිර්මාණ ලක්ෂණ
ථූපාරාමය ආරාම සංකීර්ණයේ නෂ්ටාවශේෂ වර්තමානයේ අක්කර 3.5 ක පමණ භූමි ප්‍රමාණයක විසිරී පවතියි. මෙහි සීමා පවුර අඩි 4 1/2 ක ඝනකමකින් යුක්ත වන්නට ඇතැයි සැලකේ.
ථූපාරාම ස්තූපය පොළොව මට්ටමේ සිට අඩි 11.4 ක් උසින් වූ කවාකාර වේදිකාවක් මත පිහිටා ඇති අතර වේදිකාවේ විෂ්කම්භය අඩි 164.5 කි. දාගැබ වටා වූ කැටයම් සහිත සමකේන්ද්‍රික ශිලා ස්ථම්භ අතීතයේ අර්ධ ගෝලාකාර හැඩති පියස්සක් දරන ලද බවට සාධක වේ. මෙම ශිලා ස්ථම්භ ඇතුලත සිට පිටත කවයට එන විට උසින් අඩුවන ලෙස නෙලා ඇත. අතීතයේ ථූපාරාම චෛත්‍යය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වුවත් 1862 දී සිදුකරන ලද ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව ඝන්ඨාකාර හැඩයකට පරිවර්තනය වී තිබේ. ස්තූපයෙහි වර්තමාන උස අඩි 63 ක් වන අතර විෂ්කම්භය අඩි 59 කි. විහාරයට ඇතුල් වන දොරටුවෙහි බැතිමතුන්ගේ පා දෝවනය කිරීම පිණිස ශිලාමය බඳුනක් ද ස්ථාපනය කොට ඇත.
මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන් තම Stupa in Ceylon (සිංහල පරිවර්තනය ලංකාවේ ස්තූපය) ග්‍රන්ථයේ ථූපාරාම දාගැබ පිළිබඳව මෙසේ දක්වා ඇත.
“….ථූපාරාමය පිළිබඳ ඉතාම වැදගත් ලක්ෂණය වනුයේ ස්තූපය වටේ ඒකකේන්ද්‍රීයව පිහිටුවන ලද අලංකාර ගල් කුලුණු පේළි සතරයි. තනිගලින් නිමකළ එම කුලුණුවල කඳ මුල සිට උසින් තුනෙන් කොටසක් පමණ චතුරශ්‍රාකාර වූ අතර, එතැන් සිට අෂ්ටාශ්‍රාකාර වේ. වෙන් වශයෙන් නෙලන ලද කුලුණු හිස් කූඩුම්බි තව් හා කූඩිම්බි මාර්ගයෙන් කුලුණු කඳට සම්බන්ධ කර තිබේ. පළමුවන හෙවත් ඇතුළුම කුලුණු වටය දාගැබ වටේ තනා තිබූ උස් බිම් තීරය මත අඩිතාලමේ ගර්භයේ සිට අඩි 3 අඟල් 1 දුරින් පිහිටියේ ය. මේ වටය අඩි 22 අඟල් 10 උස ඇති කුලුණු 52 කින් යුක්ත ය.
දෙවන කුලුණු පේළි වටය සිට අඩි 10 අඟල් 3 ක් දුරින් පිහිටි අතර ආරම්භයේ අඩි 21 උස වූ කුලුණු 36 න් සමන්විත විය. තුන්වන වටය දෙවන වටයෙන් ඈත් වී තිබෙන්නේ අඩි 9 අඟල් 7 ක පරතරයකි. එහි කුලුණු 40 වූ අතර උස අඩි 19 පමණ විය. පිටතින්ම ඇති කුලුණු වටය තුන්වන වටයේ සිට අඩි 14 දුරින් පිහිටා තිබේ. මෙහි අඩි 14 ක් උස් වූ කුලුණු 48 ක් විය. පිටතින්ම පිහිටි කුලුණු වටය සහ ඉහත සඳහන් බිම් තීරයේ ගැටිය අතර මළු පෙදෙස ගල්පුවරු අතුරා ඇත. සලපතළ මළු පෙදෙසෙහි වටයේ සිට (පරිධියේ) අඩි 5 ක් පමණ ඇතුළතින් සහ තෙවන හා සිව්වන කුලුණු වටයන් අතර ස්තූපය වටේ ඉදිකරනු ලැබූ ගඩොල් බිත්තියක සලකුණු සොයාගෙන තිබේ…”
ථූපාරාමය ආරාම සංකීර්ණයෙහි ස්තූපය හැරුණු කොට විවිධ කාලවල දී ඉදිකරවන ලද තවත් ගොඩනැගිලි කිහිපයක් ද වේ. පෙර ‘දළදාගේ’ ලෙස ව්‍යවහාරිත ගොඩනැගිල්ල මෑතක දී ප්‍රතිමා ගෘහයක් වශයෙන් හඳුනාගෙන තිබේ. අදියර දෙකකින් ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එහි ගර්භගෘහයට සම්බන්ධ කොට තනා ඇති මණ්ඩපය යි. මෙය හින්දු ආභාෂයක ලක්ෂණ ගෙනහැර පායි. ගර්භගෘහය, මණ්ඩපය සහ අන්තරාලය යන කොටස් වලින් සමන්විත මෙහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට තිබූ බවට සාධක වේ. ක්‍රිස්තු වර්ෂ 9-10 පමණ කාලයට අයත් දොරටුපාල රූප සහ සඳකඩපහණ ආදියෙන් මෙහි ප්‍රවේශ දොරටු අලංකරණය කොට තිබේ.
ස්තූපයට ගිනිකොණ දෙසින් පිහිටි කැටයම් සහිත ගලින් යුත් ළිඳ නිර්මාණය කොට ඇත්තේ බැතිමතුන්ගේ පැන් පහසුව පිණිස ය. දකුණු දෙසින් පිහිටි පදලාංඡන ස්තූපය මෑතක් වනතෙක් ම සංඝමිත්තා තෙරණියගේ ආදාහන ස්තූපය ලෙස වරදවා හඳුනාගෙන තිබිණි. මෙහි වූ චෛත්‍ය හතර (04) චෝළ ආක්‍රමණ හමුවේ විනාශ වී තිබී සිව්වන මහින්ද (ක්‍රිස්තු වර්ෂ 956-972) විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. සිව්වන කාශ්‍යප රාජ්‍ය කාලයේ (ක්‍රිස්තු වර්ෂ 898-914) දී ථූපාරාම ආරාම භූමියෙහි භික්ෂුණීන් වහන්සේලා වෙනුවන් ආරාමයක් ඉදිකරවා දුන් බව ද සඳහන් වේ. මෙම චෛත්‍ය හතරෙන් කුඩාම චෛත්‍යය වූ ශිලා ස්තූපය ලංජිතිස්ස රජු කල එනම් 6 වන සියවසේ දී කරන ලද බවට සැලකේ.
ථූපාරාමය ආරාම සංකීර්ණයෙහි උපෝසථඝරය භාතිකාභය (ක්‍රිස්තු පූර්ව 19- ක්‍රිස්තු වර්ෂ 9) විසින් කරවන ලද්දකි. එය ඉන් අනතුරුව රජවරුන් කිහිපදෙනෙකු විසින් ම ප්‍රතිසංස්කරණය කරවා ඇත. මෙම භූමියෙහිම ඉදිකරවා ඇති සංඝමිත්තා තෙරණියගේ ආදාහන ස්තූපය උත්තිය රජ දවස ඉදිකළ බව මහාවංසයෙහි දැක්වේ. ඒ අසලම පිහිටි ගොඩනැගිල්ල හඳුන්වන්නේ චිත්‍රශාලා නමිනි.
මෙහි ගිනිකොණින් පිහිටි බෙහෙත් ඔරුවක් සහිත ගොඩනැගිල්ල සිව්වන කාශ්‍යප විසින් ගිලන් භික්ෂූන් උදෙසා ඉදිකරන ලද ආරෝග්‍ය ශාලාව වශයෙන් හඳුනාගෙන ඇත. මෙහි දානශාලාව පොළොන්නරු රාජධානි යුගයේ දී ලීලාවතී රැජිණ (ක්‍රිස්තු වර්ෂ 1197-1200) විසින් කරවන දල බවට අනුමාන කෙරේ.
අනුරාධපුර යුගයේ මුල්ම ආරාම සංකීර්ණ අතුරෙන් එකක් වන ථූපාරාම ආරාම සංකීර්ණයෙහි වැදගත්ම අංගය වන්නේ ථූපාරාම ස්තූපය යි. දකුණු අකු ධාතුව තැන්පත් කොට ඇති ථූපාරාම ස්තූපය, ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මකව සනාථ කළ හැකි මහින්දාගමනයෙන් පසු ඉදිකරන ලද පැරණිතම දාගැබ වේ.
මෙම පිටපතින් සැදු විඩීයෝව පහතින් නරඔන්න.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න – http://www.ccf.gov.lk/index.php?option=com_content&view=article&id=41&Itemid=170&lang=si
සකුනි හතරසිංහ
B.A. in Archaeology (University of Kelaniya)
M.Sc. (following) in Archaeology (Postgraduate Institute of Archaeology)