බුදුරුවගල පුද බිම

එන්. එච්. සමරසිංහ

ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ  බුදුරුවගල පුදබිමේ ය. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට බැතිබර සිත් පුබුදුවාලයි. විශාල හස්තියෙකු සිහිගන්වන ගල් කුලක මුහුණත හෙළ කලා කරුවා කැටයමින් සරසා සුවිසල් කලාගාරයක් නිමවා ඇත. නිහඬ පරිසරය මේ කලාගාරය සිත්සේ රසවිඳීමට අපව පොලඹවාලයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේ සිට A2 මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ තණමල්විල දෙසට ගොස් බුදුරුවගල විදුහල අසලින් ඇති බුදුරුවගල පාරේ කිලෝමීටර 4ක් පමණ ගියවිට බුදුරුවගල ප්‍රථිමා පිහිටි පුදබිමට ලඟාවිය හැකි ය.

විශාල පර්වතයක මුහුණතේ අඩි 51ක් පමණ උසකින් යුතුව නෙලා ඇති මේ හිටි බුද්ධ  ප්‍රතිමාව දෙවැනි වන්නේ මෑතක දී තලේබාන් වරුන් විසින් විනාශ කරනු ලැබූ බාමියන් ප්‍රථිමාවට පමණක් බව කියති. අනුරාධපුර මුල් යුගයේ දී ථෙරවාද බුදු දහම මුළු රට පුරා මුල් බැසගෙන තිබු නමුත් කලක් ගත වෙද්දී මහායාන අදහස් ද ප්‍රචලිත වින. අති විශාල ලෙස පිළිම නෙලීම මහායාන සංකල්පයක් බව කියති.  ක්‍රිස්තු වර්ෂ 7-10 සියවස් පමණ වනවිට මහායාන වන්දනා ක්‍රම රට පුරා ව්‍යාප්ත වී තිබුණු බව පෙනේ. බෝධිසත්ව වන්දනාව මහායාන ඇදහීම් තුළ කැපී පෙනේ. වැල්ලවාය ආසන්නයේ ඇති බුදුරුවගල ප්‍රතිමා මහායාන අදහස් රුහුණේ ද පැතිර තිබු බවට සාක්ෂි සපයයි.

_DSC7827

අඩි 70ක් පමණ විශාල පර්වතයක මුහුණතේ බුදුරුවගල ප්‍රථිමා නෙලා ඇත. ක්‍රිස්තු වර්ෂ 8–10 පමණ කාලයේ දී මේ පිළිම නෙළන්නට ඇතැයි අනුමාන කෙරේ. කිනම් රජ සමයක කවුරුන් විසින් මෙය කළාදැයි මෙතෙක් නිගමනයකට පැමිණ නැත. මුහුණත මධ්‍යයේ අඩි 51ක් පමණ උසැති විශාල බුද්ධ ප්‍රථිමාවක් හා දෙපස තවත් බෝධිසත්ව ප්‍රථිමා හයක් දක්නට ලැබේ. මේ පර්වතය ඉතා දැඩි ගල් කුලක් බව පෙනේ. මේ ප්‍රථිමා නෙලූ ශිල්පීන්ට ඒ සඳහා මහත් වෙහෙසක් දරන්නට සිදුවුවා විය හැකි ය. මේ ප්‍රථිමා සියල්ල අර්ධ උන්නත වශයෙන් නෙළා ඇත්තේ ඒ නිසා විය හැකි ය.

_DSC7830

මෙහි සමහර ප්‍රථිමා සියුම් කැටයමින් යුක්තව නෙලා ඇත. එමෙන්ම එසේ කළ නොහැකි වූ පිළිම බදාම වලින් ඔප නංවා තිබෙනු දැකිය හැක. බදාම වර්ග ද උපයෝගී කරගෙන සියුම් ලෙස නිමවූ පිළිම වර්ණාලේපිත කොට අලංකාර නිමාවක් ලබාදී තිබුන බව පෙනේ. ගලෙහි කැටයම් කළ නොහැකි වූ පාද කොටසක් වෙනම නිමවා පිළිමයට සම්බන්ධ කොට තිබෙනු ද දුටිමි.

බුද්ධ ප්‍රථිමාව

_DSC7836

කැටයම් කොට ඇති පිළිම අතරින් කැපී පෙනෙන හා විශාලතම පිළිමය වන්නේ බුද්ධ ප්‍රථිමාවයි. සමභංග ඉරියව්වෙන් හා දකුණතින් අභය මුද්‍රාව නිරූපිත හිටි පිළිමය අඩි 51ක් පමණ උසකින් යුතුව අර්ධ උන්නතව නෙලා ඇත. සිවුරේ රැලි ආදිය බදාමයෙන් නිමවා පිළිමය සුදු, රතු, කහ, දුඹුරු ආදී වර්ණවලින් හැඩ ගන්වා තිබුණු බවක් පෙනේ. මේ පිළිමයෙන් නිරුපනය වන්නේ කුමන බුදුරජානන්වහන්සේ දැයි ස්ථිර නිගමනයකට පැමිණ නැත. කෙනෙක් මෙයින් දීපංකර බුදුරජාණන් වහන්සේ නිරුපනය කරන බව පවසන අතර තවත් අය මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් බව කියති. එසේම මේ ප්‍රථිමාව මහායාන බුදු දහමේ එන ධ්‍යානී බුදුවරයකු වන අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් යයි  කඹුරුපිටියේ වනරතන හිමියෝ  අදහස් කරති.

බෝධිසත්ව වන්දනාව මහායාන බුදු දහමේ දක්නට ලැබෙන වැදගත් අංගයකි. මහායාන ඇදහීම අනුව සෑම මහයානිකයෙක්ම බෝධිසත්ව වරයෙකි. ඒ අනුව මහායානයේ බෝධි සත්වවරුන් බොහෝ ය. ඒ අතරින් අවලෝකිතේශ්වර, මෛත‍්‍රිය, මංජු ශ්‍රී, වජ‍්‍රප්‍රාණී, ආකාශ ගර්භී, ක්ෂිති ගර්භී, සර්වානිවාරණ විෂ්කම්භි සහ සමන්ත භද්‍ර යනුවෙන් මහායාන බුදු දහමේ ප්‍රධාන බෝදිසත්වවරුන් අට දෙනෙකු ගැන සඳහන් වන බව කියති. ඒ අනුව මෙහි  නිමවා ඇති අනෙක් පිළිම බෝධිසත්ව වරුන් හා සම්බන්ධ බවට සැකයක් නැත.

සුදන කුමරුගේ ප්‍රථිමාව

_DSC7835

බුද්ධ ප්‍රථිමාවට දකුණු පසින් (ඉදිරිපස සිටින අපේ වම් පසින්) ප්‍රතිමා තුනකි. ඉන් කෙළවරම ඇති මීටර් 6.5ක් (අඩි 23ක්) පමණ උස ප්‍රථිමාව මහායානයේ බෝධිසත්ව කෙනෙකුසේ සැලකෙන සුදන කුමරුගේ ප්‍රථිමාවක් ලෙස හඳුනාගෙන ඇත.

අවලෝකිතේෂ්වර ප්‍රථිමාව

_DSC7834

මහායාන බුදු දහමේ ජනප්‍රියතම බෝධිසත්වයන් වනුයේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ය. මේ පිළිම තුන අතරින් මැදින් ඇති වඩාත් සිත්ගන්නා පිළිමය අවලෝකිතේශ්වර බෝධිසත්වයින් නිරුපිත ය. මීටර් 7.1 (අඩි 25)  පමණ උසට නෙලා ඇති මේ පිළිමය බදාම වලින් පිරියම් කොට සුදු පැහැය ආලේප කොට ඇත. මෙය සම භංග ඉරියව්වෙන් හා දෙඅත් වලින් කටක මුද්‍රාව නිරූපනයකොට දෝතියක් ඇඳ සිටින ආකාරයෙන් නිමවා ඇත.

_DSC7830

හිසේ පැළඳි  ජටා මකුටයෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදුරුවක් කැටයම් කොට ඇත.

තාරා දෙවඟනගේ ප්‍රථිමාව

_DSC7833

මහායාන සංකල්ප අනුව තාරා දෙවඟන අවලෝකිතේශ්වර බෝධිසත්වයින්ගේ භාර්යාවයි. අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාව සමගම තාරා දෙවඟන ද වන්දනාවට පාත්‍ර විය.  බුද්ධ ප්‍රථිමාවට දකුණු පසින් හා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රථිමාවට වම් පසින් නෙලා ඇති පිළිමය අවලෝකිතේශ්වර බෝධිසත්වයින්ගේ භාර්යාව වන තාරා දෙවඟනගේ ය. එය මීටර් 5.9 (අඩි 21ක්) පමණ උසට ස්ත්‍රී ලාලිත්‍යය පෙන්නුම් කරමින් ත්‍රිභංග හිටි ඉරියව්වෙන් හා උඩුකය නිරුවත්ව නිමවා ඇත.  දකුණු අත ඉහලට ඔසවා ගෙන කටක හස්ත මුද්‍රාව දක්වමින් හා පහලට හෙලාගෙන ඇති වම් අතෙහි  පුන් කළසක් දරා සිටින ආකාරයෙන් එය නිර්මිත ය.

බුද්ධ ප්‍රථිමාවට වම් පසින් (ඉදිරිපස සිටින අපේ දකුණු පසින්) තවත් ප්‍රතිමා තුනකි. මේ ප්‍රථිමාවල කැටයම් වඩාත් සියුම්ලෙස නෙලා ඇතිබවක් පෙනීයයි.

මෛත්‍රී බෝධිසත්ව  ප්‍රථිමාව

_DSC7841

මේ ප්‍රථිමා තුනෙන් මැද ඇත්තේ මීටර් 7.5 (අඩි 25)ක් පමණ උසකින් නිමවා ඇති මතු බුදු බව ලබන බවට විශ්වාස කෙරෙන  මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. එය උඩුකය නිරුවත්ව, දෑත් කටක මුද්‍රාවෙන් යුතුව හා රාජාභරණ ආදිය පළඳි ආකාරයෙන් නෙලා ඇත.

වජ්‍රපානී බෝධිසත්ව  ප්‍රථිමාව

_DSC7843

මෛත්‍රී බෝසත් ප්‍රථිමාවටව වම් පසින් සමභංග හිටි ඉරියව්වෙන් යුක්තව මීටර් 6.4 (අඩි 22.4)ක් පමණ වන උසකට නෙලා ඇත්තේ වජ්‍රපානී බෝධිසත්ව ප්‍රථිමාවයි. වජ්‍රයක් දකුණු අතින් දරා සිටින ආකාරයක් මෙහි දැක්වේ. වජ්‍රපානී බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියැවෙයි.

මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාව

_DSC7840

මෛත්‍රී බෝධිසත්ව ප්‍රථිමාවටත් බුද්ධ ප්‍රථිමාවටත් අතරින් නෙලා ඇත්තේ මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් බවට අනුමාන කෙරේ. සමභංග හිටි ඉරියව්වෙන් උඩුකය නග්නව නිර්මිත මෙහි දෑත් ඉහලට යොමුව පවතින අතර දකුණ කණෙහි මකර කුණ්ඩලාභරණයක් පැළඳ සිටින ආකාරයක් දැක්වේ. මංජු ශ්‍රී මහායාන ඇදහිම් අනුව මෛත්‍රී බෝධිසත්වන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වෙයි. එමෙන්ම ඔහු මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබන බව මහායානහි දැක්වේ.

අතීතයේ මේ පිළිම වහලකින් ආවරණය කොට තිබී ඇත. ඒ ආවරණ සඳහා යොදාගත් කුහර පිළිම වලට ඉහලින් දැකිය හැකි ය.

බුදුරුවේ දකුණුපස පිහිටි ගල් කුහරයෙන් කලකට පෙර තෙල් බේරී ඇති බවත් ඒ තෙල් වලට ලෙඩ රෝග සුවකිරීමේ බලයක් තිබු බවත් කියති.

බුදුරුවගල ආසන්නයේ දා ගැබක නටබුන් හා වැවේ සිට මීටර් 125ක් පමණ නැගෙනහිරින් බුදුරුවගල සංඝාරාම වල නටබුන් දක්නට ලැබේ. ස්තූපයට උතුරු දෙසින් සිමා පවුරක් ද තිබුණු බව පෙනේ.

බුදුරුවගල ආශ්‍රිතව කරන ලද කැනීම්වල දී සොයාගන්නට ලැබී ඇති අනුරාධපුර, පොළොන්නරු, මහනුවර ආදී යුගයන්වලට අයත්සේ සැලකෙන පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන පුරාවිද්‍යා කෞතුකාගාරයක් 1988 දී බුදුරුවගලදී විවෘත කොට ඇත..

බුදුරුවගල වනය මුවක්, ගෝනුන්, මීමින්නන් හා මොනරුන් ආදී නොයෙක් වන සතුන්ගේ වාසභුමියකි.

බුදුරුවගල වැව ද මනරම් දසුනකි.

_DSC7856

බුදුරුවගල වැව

_DSC7877

ඒ ආශ්‍රිත ප්‍රදේශය මෙරටට ආවේනික මෙන්ම සංක්‍රමණික පක්ෂින්ට ද නිවහනකි.

බෞද්ධ පුදබිමක් වන මෙය බලන්නට යන අප සංවර ලෙස හැසිරීමටත්, පරිසරයට හා පුරාවස්තුවලට හානියක් නොකිරීමටත් වගබලා ගතයුතු වේ.

---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.05.05 වැනි දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------
Previous articleපොළොන්නරුවේ ගල් විහාරය
Next articleමැදිරිගිරිය වටදාගේ
එන්. එච්. සමරසිංහ
එන්. එච්. සමරසිංහ මහතා1976 වසරේ දී එවකට විද්‍යෝදය නමින් හඳුන්වනු ලැබූ වර්තමාන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු දරා 2010 වසරේ දී විශ්‍රාම ලැබීය. ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන ‌මෙතුමා විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල ‌මෙන් ම විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමග බෙදා ගැනීමට කැමැත්තක් ද දක්වයි. එතුමා ඒ ‌වෙනුවෙන් ම "සැරිසර සමරු" නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here