1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත : අන්තර්ගතය හා එහි වැදගත්කම පිළිබඳ විමසුමක්

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

හැඳින්වීම

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

ඕනෑම සමාජ ව්‍යුහයක පැවැත්ම හා ආරක්‍ෂාව පිණිස තත්කාලීන සමාජ සන්දර්භයට ගැලපෙන නෛතික පසුබිමක් ගොඩනැඟීම හා පවත්වාගෙන යාම මානව සමාජ ගතිකයකි. එය බොහෝ විට යාවත්කාලීන වන සමාජ පැවැත්මට අනුචිත ව නිර්මාණය වන නීතිරීති, අණපනත්, ගිවිසුම් හෝ ප‍්‍රඥප්තිවලින් යුක්ත වේ. ශ‍්‍රී ලංකාවේ අපරාධමය වැරදි සම්බන්ධයෙන් ලබා දෙන දඩුවම් පිළිබඳ ව දණ්ඩ නීති සංග‍්‍රහයේ දීර්ඝ ව විස්තර වේ. ඊට අමතර ව විවිධ සමාජ අවශ්‍යතාවන් මත ගොඩනැඟුණු පනත් කිහිපයකි. පොදු දේපළ විෂයෙහි සිදු කරන වැරදි පාලනය කිරීම සඳහා පොදු දේපළ පනත කි‍්‍රයාත්මක වන අතර ආගමන හා විගමන වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ආගමන හා විගමන පනත කි‍්‍රයාත්මක වේ. වනාන්තර ආශ‍්‍රිත ව සිදුවන අපරාධ පාලනය කිරීම සඳහා වනජීවි වෘක්‍ෂලතා පනත කි‍්‍රයාත්මක වන අතර ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු විනාශ කිරීම පාලනය කිරීම සඳහා පුරාවිද්‍යා ප‍්‍රඥප්ති කි‍්‍රයාත්මක වේ. පුරාවස්තු පිළිබඳව සිදු කරන වැරදි සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා 1940 වර්ෂයේ දී විශේෂ පනතක් හඳුන්වා දෙන ලදි. එය 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත ලෙස හඳුන්වනු ලැබේ.

1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත ප‍්‍රථම වතාවට 1955 වර්ෂයේ දී සංශෝධනය වේ. එම සංශෝධනයෙන් වර්ෂ 43කට පසු දෙවන සංශෝධනය 1998 අංක 24 දරණ පනත ලෙස ඉදිරිපත් කරන ලදි. මෙම සංශෝධන දෙවන පනත මගින් නව වගන්ති එකතුවීම මෙන්ම මුල් ආඥා පනතේ දැක්වෙන වගන්තිවල යම් යම් වචන ඉවත් කිරීම හා එක් කිරීම විශේෂ කරුණකි. එය හුදෙක්ම 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත විශාල පරිවර්තනයක ට යොමු කිරීමකි. එමෙන්ම, පුරාවිද්‍යා ශික්‍ෂණයේ නෛතික රාමුව ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ කාලෝචිත කි‍්‍රයාවක් ලෙස පෙන්වා දිය හැකි ය. ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථාන හා ගොඩනැඟිලි වඩා හොඳින් සංරක්‍ෂණය කිරීම සඳහා පියවර ගැනීමයි. මෙහි දී පුරාවස්තුවලට පමණක් නොව පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්මාරක මෙන් ම එම ස්මාරක පවතින සන්දර්භය සංරක්‍ෂණය කිරීම සඳහා පියවර ගැනීම වැදගත් කි‍්‍රයාවකි.

අන්තර්ගතය (නව සංශෝධන)

  1. 1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනතේ පළමුවෙන්ම මීට පෙර පැවති ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ දීර්ඝ නාමය සංශෝධනයට ලක් වේ. මෙහිදී “ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු සහ ශ‍්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත් කමක් ඇති ස්ථාන සහ ගොඩනැඟිලි වඩා හොඳින් සංරක්‍ෂණය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වු ආඥා පනත” යනුවෙන් සංශෝධන දීර්ඝ නාමය ආදේශ වේ (1998 අංක 24, 2 වන වගන්තිය)
  2. ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ 2 වන වගන්තියේ 3 වන උප වගන්තියෙහි “හෝ විලක” යන වචනය වෙනුවට “හෝ විලක හෝ ශ‍්‍රී ලංකාවේ දේශීය සමුද්‍රය ඇතුළත හෝ” යන වචන ආදේශ කිරීමක් 1998 අංක 24 දරණ පුරාවස්තු ආඥා පනතේ 3 වන වගන්ය මගින් සිදු වේ. එය ප‍්‍රධාන වගන්තිය හෙවත් 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනතේ 2 වන වගන්තියේ සංශෝධනයට ලක් කිරීමකි
  3. ඒ අනුව, සාගරයට යට වු ඓතිහාසික ශිෂ්ටාචාරවල පුරාවිද්‍යාත්මක වැදගත්කම හා සංරක්‍ෂණය පිළිබඳව වගන්ති සංෙශා්ධන නව පනතට ඇතුළත් වේ. විශේෂයෙන්ම, 1940 අංක 9 දරණ පනතේ භූ තලය මතු පිට හෝ ඉන් ඇතුළත හෝ යම් ගංගාවක හෝ විලක සැඟ වී තිබෙන සොයා ගෙන නොමැති සියලු පුරාවස්තු රජයේ දේපලක් ලෙස ප‍්‍රකාශයට පත් වු අතර එය 1998 අංක 24 දරණ පනතින් සංශෝධනය වේ. මුල් ආඥා පනතේ “හෝ විලක” යන වචනයට “ශ‍්‍රී ලංකාවේ දේශීය සමුද්‍රය ඇතුළත” යන යෙදීම ඇතුළත් වේ. මෙම වගන්තිය සංශෝධනය වීම ශ‍්‍රි ලංකාවේ සමුද්‍රාගත පුරාවිද්‍යා කටයුතුවල වර්ධනීය අවස්ථාවකි
  4. 1940 අංක 9 දරණ පනතෙහි පුරාවස්තු ආරක්‍ෂා කිරීම සම්බන්ධ වගන්ති ඇතුළත්ව තිබුන ද පුරාවස්තු සම්බන්ධව සිදුවන අපරාධ පාලනය කිරීම සඳහා ඒවා ප‍්‍රමාණවත් නොවිය. එකි බාධාව පුරාණය කිරීම සංශෝධන 1998 පනත මගින් සිදු වේ. විශේෂයෙන්ම 1940 අංක 9 දරණ  පනත මගින් පුරාවස්තු සොරකම් කිරීම සම්බන්ධ දඩුවම රුපියල් දහසකට නොවැඩි දඩයක් හෝ එක් වර්ෂයකට නොවැඩි සිර දඩුවමකට සීමා වුව ද සංශෝධන නව පනත මගින් අදාළ වැරදි සඳහා රුපියල් පනස් දහසක දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ ඉහත දඩුවම් දෙකම යටත් වන සේ නීති සම්පාදනය කර ඇත (1998 අංක 24, වගන්ති 4).
  5. ඊට අමතරව පුරාවස්තු  ඕනෑකමින් විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන හෝ එහි යම් කොටසක් ඕනැකමින් පළුදු කරන යම් තැනැත්තෙකු වෙත් නම් ඔහු සංශෝධන පනත යටතේ වරදකරුවෙකු බවට පත් වේ. මෙහි දි මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියෙහි වැරදිකරුවකු කරනු ලැබු විට රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් හෝ එම දඩය සහ බනධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට යටත් වීමට සිදුවන බව දක්වයි. මෙහි දි සංශෝධන නව ආඥාපනත යටතේ වරදකට චෝදනා ලැබු පුද්ගලයකුට හෝ චුදිතයෙකුට කිසිදු හේතුවක් නිසාවත් ඇප මත මුදා නොහැරිය යුතු බව අවධාරණය කිරීම පුරාවස්තු විනාශ පාලනය කිරීම සඳහා ගත් සුභවාදී කි‍්‍රයාවකි (1998 අංක 24, 4 – 15 ඇ).
  6. 1940 අංක 29 දරණ පුරාවස්තු ආඥා පනතේ 16 වන වගන්තිය ද නව පනත මගින් සංශෝධනයට ලක් වේ. එහි පැරණි ස්මාරක කාලනිර්ණය 1850 ජනවාරි මස 1 වන දිනට පෙර කාලච්ෙඡ්දයට අයත් වන බව දක්වා තිබු අතර නව සංශෝධන වගන්තිය මගින් අවුරුදු සියයකට නොඅඩු කාලපරිචිෙඡ්දයක් පැවති තිබෙන හෝ පැවති තිබු බව විශ්වාස කරන පුරාවස්තු සියල්ල “පැරණි ස්මාරක” ලෙස අර්ථ දක්වයි (1998 අංක 24, 5 වගන්ති  – 2).

ඊට අමතරව පැරණි ස්මාරකයක් විනාශ කිරීම පිළිබඳ ව 1940 අංක 09 දරණ ආඥා පනතේ ලබා දෙන දඩුවම් මහෙස්ත‍්‍රාත්වරයකු ඉදිරිපිට පැවැත්වෙන නඩු විභාගයකින් ආදි වශයෙන් දැක්වුවද සංශෝධන පනතෙහි “වෙනත් යම් ලිඛිත තීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද වරදකරුවකුට රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම යටත් වීමට ඔහුට සිදුවන බව” දංශෝධන පනතේ 7 වන වගන්තිය යටතේ දක්වයි.

නව වගන්ති ඇතුළු කිරීම

ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ V වන කොටසට නව එක් කිරීම් කිහිපයක් සිදු වේ. පුරාවස්තු ආරක්‍ෂා කිරීම සඳහා අමාත්‍යවරයා විසින් පුරාවිද්‍යාත්මක උපදේශන කමිටුවක් පිහිටුවීම විශේෂ වේ. අමාත්‍යවරයා සලකනු ලබන කාරණා සියල්ල හෝ යම් දෙයක් කි‍්‍රයාත්මක කිරීම මෙන්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ කටයුතු සඳහා උපදෙස් ලබාදීම මෙම කමිටුව පිහිටුවිමේ අරමුණ බව දක්වා ඇත. ඊට අමතරව, කමිටුව සඳහා සාමාජික පිරිස් පත් කිරීමේ දී අමාත්‍යවරයාට පවතින පරිපාලන බලය පිළිබඳව මෙන්ම උපදේශන කමිටුවේ රැස්වීම්වල ගණපූර්ණය, සාමාජික කාල සීමාව, ඉල්ලා අස්වීමේ හැකියාව, සාමාජිකයින් ඉවත් කිරීම පිළිබඳව ආදි පරිපාලන කටයුතු පිළිබඳව වග්නිති මෙහි අන්තර්ගත ය.

1940 අංක 09 දරණ පනතේ 40 වන වගන්තිය යටතේ දක්වා තිබු “පුරාවිද්‍යා කොමසාරිස්” යන ඉවත් කරන බව නව සංශෝධන පනතේ 9 වන වගන්තිය යටතේ දැක්වේ. මෙහිදී ප‍්‍රධාන පනතේ 40 වන වගන්තිය ඉවත් වන අතර ඒ වෙනුවට “පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බලතල හා කාර්ය” යනුවෙන් නව ශිර්ෂය ආදේශ වේ (1998 අංක 24, 9 වන වගන්තිය).

නව සංශෝධන පනතේ 10 වන වගන්තිය යටතේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බලතල කාර්ය පිළිබඳව දිර්ඝව සඳහන් වන අතර ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තියක් සකස් කිරීම, ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය පිළිබඳ ලේඛනයක් සකස් කිරීම, එම උරුමය ආරක්‍ෂා කිරීම හා පවත්වා ගෙන යාම, ශ්‍රී ලංකාවේ සියලු යුග ආවරණය පරිදි පර්යේෂණය කිරීම, විවිධ ක‍්‍රම මගින් පුරාවස්තු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සංවර්ධන ව්‍යාපෘතිවල දී හානි අගැයුම් සිදු කිරීම ඒ අතර ප‍්‍රධාන වේ (1998 අංක 24 පනත, 10 වන වගන්තිය අ, ආ, ඇ, ඈ, ඉ, උ)

1998 අංක 24 පනතේ 11 වන වගන්තිය මගින් ප‍්‍රධාන පනතේ 43 වන වගන්තිය ද ඉවත් කරන අතර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බලතල කි‍්‍රයාත්මක කිරීම සඳහා දිසාපතිවරයාට හා වෙනත් නිළධාරින්ට බලය දීම සඳහා නව වගන්ති ආදේශ වේ. විශේෂයෙන්ම, යම් ආදේශයක පවතින පුරාවස්තු සංරක්‍ෂණය කිරීම, ගවේෂණය, කැනීම, නඩත්තුව පිළිබඳව කටයුතු කිරීමේ බලය ප‍්‍රාදේශීය නිළධාරින්ට පැවරීම විශේෂ ලක්‍ෂණයකි. එනම්, අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සතු බලය විමධ්‍යගත කිරීමකි. ස්වකීය නිළධාරින් සඳහා බලය ලබා දීමෙන් පසුව එහි කාර්යය සතුටුදායක ආකාරයට සිදු නොවන්නේ නම් නැවත එම බලය තමා සතු කර ගැනීමේ හැකියාව ද පුරාවිද්‍යා අධක්‍ෂ ජනරාල්වරයා සතුව පවතින බව සංශෝධන පනතේ දැක්වේ.

මෙම නව තනතුරු ඇති කිරීම එක් පැත්තකින් ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කටයුතු බිම් මට්ටමින් විධිමත්ව පවත්වා ගෙන යාමට මෙන්ම පරිපාලන ව්‍යුහය මැනවින් පවත්වා ගෙන යාමට අවස්ථාව සලසා දීමකි. යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව හානි අගැයීම පිළිබඳව නව වගන්ති එක් කිරීම සංශෝ්ධන පනතේ 12 වන වගන්තිය මගින් සිදු වේ. එය 1940අංක 9 දරණ ප‍්‍රධාන පනතේ අන්තර්ගත 43 වන වගන්ති සඳහා නව වගන්ති කිහිපයක් ආදේශ වේ. ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමේ දී ඒ අදාළ ඉඩම හෝ ඒ ඇතුළත පවතින පුරාවස්තු කිසිවකට ඒ ව්‍යාපෘතිය හරහා සිදුවිය හැකි ප‍්‍රතිඵල පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් එම ව්‍යාපෘතිය අනුමත කිරීම නොකළ යුතු බව මෙහි දි අවධාරණය කර ඇත.

ඊට අමතරව ව්‍යාපෘති භාර පුද්ගලයා හානි ඇගයුම් වර්තාව සැකසීම සඳහා අවශ්‍ය වියදම දැරිය යුතු බවද සඳහන් වේ. එසේම යම්කිසි ව්‍යාපෘතියක් කොන්දේසි සහිතව අනුමත කළ අවස්ථාවක ඊට අනුකූලව කටයුතු කිරීම අනුග‍්‍රහකයාගේ වගකීමකි. අදාළ කොන්දේසි පැහැර හැරීම මෙම ආඥා පනත යටතේ වරදක් වන අතර කි‍්‍රයාත්මක ව්‍යාපෘතිය නතර කිරීමේ හැකියාව හා බලතල පුරාවිද්‍යා කොමසාරිස්වරයා සතු වන බව සඳහන් වේ (1998 අංක 24 පුරාවස්තු පනත 12 ආ උප වගන්තිය).

1940 අංක 09 දරන ප‍්‍රධාන ප‍්‍රධාන ප‍්‍රඥාප්තියේ තෑගි අරමුදල පිළිබඳව තිබු 46 වන වගන්තිය ද ප‍්‍රතියෝජනය වේ. මුල්කාලීන පුරාවිද්‍යා ආඥා පනත්වල පුරාවස්තු දෙපාර්තමේන්තුවට ලබා දෙන සාමාන්‍ය ජනතාව ඇඟයීම හා දිරිමත් කිරීම සඳහා ත්‍යාග අරමුදලක් කි‍්‍රයාත්මක වුව ද ඒ සඳහා කැපවෙන ක්‍ෂේත‍්‍ර නිළධාරින්ගේ සේවාව ඇගයීමට ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක නොවුණි. එකි අඩුව සම්පූර්ණ කිරීම මෙන්ම පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර නිළධාරින් දිරිමත් කිරීම සඳහා ගත් සාර්ථක උත්සාහයකි.

අර්ථකතන

1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ අන්තර්ගත වැදගත් කොටසක් ලෙස අර්ථ නිරූපණය දැක්විය හැකි ය. ප‍්‍රධාන ආඥා පනතේ 48 වන වගන්තිය යටතේ දක්වා තිබු “පුරාවස්තු” යන වචනය “පුරාවිද්‍යාත්මක උරුමය” යනුවෙන් සංශෝධනය වේ. මනුෂ්‍ය වර්ගයාගේ භෞතික උරුමයේ යම් කොටසක් පිලිබඳ ප‍්‍රාථමික තොරතුරු පුරාවිද්‍යාත්මක ක‍්‍රමවලින් සැපයෙන්නේ ද ඒවා පුරාවිද්‍යාත්මක උරුමය ලෙස අර්ථ දැක්වේ. ඒ සඳහා මානව කි‍්‍රයාකාරිත්වයේ සියලු ලක්‍ෂණවලට අදාළ ස්ථාන මෙන්ම අතහැර දමන ලද ව්‍යුහ ඇතුළුව සියලු වර්ගවල න්ෂ්ටාවශේෂ අයත් වේ (1998 අංක 24 ආඥා පනත 16 වගන්තියේ 1 වන උපවගන්තිය).

ප‍්‍රධාන ප‍්‍රඥාප්තියට අදාළව “ස්මාරකය” පිළිබඳව මෙතෙක් පැවැති අර්ථකථනය ඉවත් වන අතර ඒ සඳහා නව අදහසක් සංශෝධන පනතේ 16 වගන්තියේ 2 වන උපවගන්තිය යටතේ දැක්වේ. එම වගන්තියට අනුව “යම් ගොඩනැඟිල්ලක් හෝ වෙනත් ඉදිකිරීමක් හෝ යම් සොහොන් ගෙයක්, ස්තූපයක් හෝ වෙනත් භූමදාන ස්ථානයක් හෝ එවැනි ස්වරූපයේ වෙනත් ස්ථානයක් හෝ ඓතිහාසික හෝ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස හෝ කි‍්‍රයාත්මක ද්‍රව්‍යමය නෂ්ටාවශේෂ සොයා ගත හැකි වෙනත් යම් ස්ථානයක්” ස්මාරකයක් ලෙස අර්ථ දැක්වේ.

ඊට අමතරව යම් ස්මාරකයක් ඇති ස්ථානයක් හා යම් ස්මාරකයක් වටා ආවරණය කිරීම හෝ අන්‍යාකාරයකින් ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය විය හැකි යාබද ඉඩමක යම් කොටසක් වෙත් නම් එය ද ස්මාරකය යන සංකල්පයට අන්තර්ග‍්‍රහණය වන බව මෙම වගන්තියේ වැඩිදුරටත් දක්වයි (1998 අංක 24 ආඥා පනත 16 වගන්තියේ 2 උප වගන්තිය).

මෙම සංශෝධන නව පනත මගින් “දෙශීය සමුද්‍රය” යන වචනය ද නව අර්ථකථනයක් ලබා දී ඇත. ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 22 දරන සමුද්‍රීය කලාප නීතිය යටතේ කරන ලද ප‍්‍රකාශයක් මගින් ශ‍්‍රී ලංකාවේ දේශීය සමුද්‍රය වශයෙන් ප‍්‍රකාශිත ප‍්‍රදේශය එයට අයත් බව දැක්වේ.

වැදගත්කම

  • 1940 අංක 24 දරන ප‍්‍රධාන ප‍්‍රාඥාප්තියේ නාමය අර්ථවත් ලෙස සංශෝධනයට ලක්වීම
  • ශ‍්‍රී ලංකාවේ සමුද්‍රාශ‍්‍රිත පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා නෛතික බලය පැවරීම
  • පුරාවස්තු සොරකම් කිරීම හා විනාශ කිරීමට අදාළ වැරදි සඳහා දෙනු ලැබු දඬුවම් හා දඩ බලාත්මක කිරීම
  • “පැරණි ස්මාරකය” පිළිබඳව පැහැදිලි කාල නිර්ණයක් ලබා දීම
  • අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් පුරාවස්තු ආරක්‍ෂා කිරීම සඳහා උපදේශන කමිටුවක් පත් කිරීම
  • අදාළ කමිටුව මගින් පුරාවිද්‍යා කොමසාරිස්වරයාට අවශ්‍ය උපදේශන ලබාදීමට තීර්ණය කිරීම
  • යාවත්කාලීන වන සමාජයට ගැලපෙන පරිදි “පුරාවිද්‍යා කොමසාරිස්” යන තනතුරු නාමය සංශෝධනයට ලක් කිරීම
  • පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ බලතල හා කාර්ය විමධ්‍යගත කිරීම හා ප‍්‍රාදේශීය පුරාවිද්‍යා කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා අවස්ථාව හිමි වීම
  • යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලින් පුරාවිද්‍යා උරුම ස්ථානවලට සිදු වන හානි පාලනය කිරීම සඳහා නව වගන්ති ඇතුළු කිරීම
  • ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යා නිළධාරීන්ගේ සේවාව ඇගයීම හා දිරිමත් කිරීම සඳහා නව ත්‍යාග අරමුදලක් පිහිටුවීම
  • විශේෂ පැහැදිලි කිරීම් ඇතුළත් නව අර්තකතන කිහිපයක් ඉදිරිපත් කිරීම

නිගමනය

ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ ප‍්‍රථම දේශීය කොමසාරිස්වරයා වන මහාචාර්ය සෙනරත් පරණවිනාත වගන්ති හතළිස් නවයකින් යුත්ත 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත ප‍්‍රකාශයට පත් කරන ලදි. ඒ සඳහා ප‍්‍රථම සංශෝධනය 1955 වර්ෂයේ දී සිදු වු අතර යාවත්කාලීන සමාජයට ගැලපෙන පරිදි වර්ෂ හතලිස් තුනකට පසු දෙවන සංශෝධනය ප‍්‍රකාශනයට පත් කරන ලදි. එය 1998 අංක 24 දරණ සංශෝධන පනත ලෙස හඳුන්වනු ලැබේ. මෙම සංශෝධිත නව පනත මගින් පුරාවිද්‍යා ශික්‍ෂණයේ නෛතික බලය වර්ධනය වීම සිදු වුවා සේම පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට ද හේතු විය. එය ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ කැපී පෙනෙන ඉදිරි පියවරකි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • ගමගේ රංජිත්, 2012, පුරාවස්තු ආඥාපනත යටතේ සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගත හැකි වන්නේ කුමන අධිකරණයෙන් ද?, දායාද පුරාවිද්‍යා පුවත් අටුවාව, හයවන කලාපය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • 1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනත, ගැසට් පත‍්‍රය, 11 වන කොටස, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, කොළඹ.
  • 1940 අංක 24 09 දරණ පුරාවස්තු ආඥා පනත, සිංහල පරිවර්තනය, 1997, ගවේෂණ සහ ලේඛනගත කිරීමේ අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.

[ඉහත දක්වා ඇති ඡායාරූපය http://lankapura.com වෙබ් අඩවියෙන් ලබාගත් බව කාරුණිකව සලකන්න.]

---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.04.10 වැනි දින පළමු වරට www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍ළ විය. 
---------------------------------------------------------------------------------
Previous articleපුරාවිදු උරුමය, නිධානය හා ජන සමාජය
Next article‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග‍්‍රහය 2018’ සඳහා ශාස්ත‍්‍රීය ලිපි ලබාගැනීම
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

4 COMMENTS

  1. අපිට ගොඩක් වැදගත් ලිපියක් හාමුදුරුවනේ , තෙරුවන්සරණයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here